පටිච්චසමුප්පාදය - නාඋයනේ අරියධම්ම හිමි.pdf
- කතෘ :
- නාඋයනේ අරියධම්ම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2011
- මුද්රිත වර්ෂය :
- 2011
- පිටු ගණන :
- 38
- බාගත කිරීම් ගණන :
- 4,594
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්රමාණය :
- 5.0 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පටිච්ච සමුප්පාදය කෘතිය අතිපූජ්ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා දෙකක් ඇසුරින් සකස් කරන ලද ධර්ම ග්රන්ථයකි. වෛද්ය නන්දසිලි සමරසේකර මහත්මිය විසින් ශ්රව්ය තැටිගත දේශනා අසා අතින් ලියා සකස් කර ධර්මදානය පිණිස මුද්රණය කරවා ඇත.
මෙහි ප්රධාන වශයෙන් පටිච්ච සමුප්පාදය පිළිබඳ ගැඹුරු ධර්ම කරුණු සාමාන්ය ජනයාට පහසුවෙන් වටහාගත හැකි පරිදි විග්රහ කර ඇති අතර, ඊට අමතරව වනවාසී තිස්ස රහතන් වහන්සේගේ කථාව ද අන්තර්ගත කොට ඇත.
- පටිච්ච සමුප්පාදය
- වනවාසී තිස්ස තෙරුන්ගේ කථාව
මෙම කෘතියේ ප්රථම මුද්රණය බුද්ධ වර්ෂ 2555 (ක්රි.ව. 2011) දී නුගේගොඩ ලිතිර මුද්රණාලය මගින් මුද්රණය කර ප්රකාශයට පත් කර තිබේ.
අතිගරු නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේගේ පෙරවදන
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ///
සතර පද ගථාවක් තරම්වුද ශ්රී සද්ධර්මය දේශනාකිරීමත් දහම් පොත් කරවා ධර්මදානය පිරිනැමීමත් සියලුම ආමිස දානයන් අභිභවා ජයගන්නා බැවින් සබ්බදානං ධම්මදානං ජිනාති යයි සර්වඥයන් වහන්සේ දේශනා කළ සේක. පටිච්ච සමුප්පාදය සහ වනවාසික තිස්ස රහතන් වහන්සේ ද සම්බන්ධ අවස්ථා දෙකක දී මා විසින් අනුමෝදනා වශයෙන් දේශනා කරනලද දම් දෙසුම් දෙකක් පින්වත් වෛද්ය නන්දසිලි සමරසේකර දොස්තර මැණියන් විසින් සිය අතින්ම පිටපත් කොට මුද්රණය කරවා මෙසේ ධර්මදානය පිරිනැමෙනුයේ අසීමිත ධර්ම ප්රීතියෙනි.
නවීන විද්යාත්මක තාක්ෂණ මගින් ධර්මදේශනා තැටිගත කිරීම බොහෝ වාරයක් නැවත නැවත ශ්රවණයට විශාල අනුග්රහයකි. ගැඹුරු දහමක් වුනත් පුන පුනා ඇසීමෙන් ශ්රාවකයන් යම්තරමකින් හෝ අවබෝධයට මහත් හේතුවකි. කාශ්යප බුදුසසුනේ දී වනසෙනසුනෙක විසූ දාර පිඹුරෙක් වනවාසී සංඝයා විසින් දිනපතා රාත්රි කාලයේ සජ්ඣායනා කරන අභිධර්ම දේශනයට සිය දහස්වර සවන්දීමෙන් ජනිත ඥානසම්ප්රයුක්ත කුශල හේතුවෙන් බුද්ධාන්තරයක් සදෙව්ලෝ සැපත් විඳ, දඹදිව පාටලීපුත්ර නගරයේ මනුලොව ඉපදී ධර්මාශෝක රජසමයේ දී මහා අස්සගුත්ත මහරහතන් වෙත පැවිදි වී එදිනම එකම ආසනයේ අර්හත්වයට පත්විය. ගැඹුරු දහම වූවත් නිතර නිතර ඇසීමට ලැබීම ද ආශ්චර්යයක් නේද.
ඉන්නිසා ධර්මය තැන්පත් කෙරන යන්ත්රෝපකරණ හා ලිපි ද්රව්යයද සැමටත් මෙම ධර්මදානමය කුසල හේතුවෙන් සම්මා දිට්ඨියෙහි පිහිටා තිසරණ සුසිරින්පුරා දෙලොව ජයගෙන ශාන්ත නිවන් සුවයෙන් සැනසීම අත්වේවා.
නවවැනි වරටත් මෙසේ ධර්මදානය පිරිනැමූ පින්වත් නන්දසිලි සමරසේකර දොස්තර මැණියන්ටත්, පින්වත් ජනාධිපති නීතිඥ ආතර් සමරසේකර පියාණන් ප්රමුඛ පවුලේ දරු මුණුබුරු මිණිබිරි සැමටත්, ධර්මඥාන, භාවනා ඥාන, මුදුන් පත්ව ආයුරාරෝග්යා දී සැපතත්, දෙලොව සුව සෙතත්, ශාන්ත නිවන් සුවයත් සුවසේම සාක්ෂාත් වේවා.!
“සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා”
මෙයට මෙත්පති,
නා උයනේ අරියධම්ම ස්ථවිර
2011-04-16
හැඳින්වීම
මෙම පොත් ලිවීම මට ඉතා විශාල ආශ්වාදයක් ගෙන දෙන්නකි. මගේ සුළු අසනීප තිබියදීත්, නොයෙකුත් කාර්ය බහුල කරදර ඇති අවස්ථාවලදීත්, සිත එකලස් කිරීමට මට හැකිවනුයේ මෙම දේශනා ලිපිගත කිරීමෙන්ය.
මෙහි ඇතුළත් වන පළමුවන දේශනාව පටිච්ච සමුප්පාද දේශනාවයි. දේශනාව ඉතා බැරෑරුම් වුවත් ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි එය සිය දහස් වරක් එය කියවීමෙන් සිත යොමුකිරීමෙන් තරමක්වත් තේරුම් ගැනීමක් සිදුවෙනවා ඇත. මට අවුරුදු පහළොවක සිට සංඛාර ගැන යම් අවබෝධයක් ලබාගන්ට නොයෙක් පොත් පෙරලා බැලුවෙමි. නොයෙක් දේශනා වලට ද සවන් දුන්නෙමි. මෙම දේශනාව ද තැටිගත කිරීමේදී කීප විටක් අසා ඇත. නමුත් මෙම ග්රන්ථය ලිවීමේදී එහි ඇති ලිහිල්ම තේරුම දක්වා ඇති බැවින් අනිකුත් ඒ පිළිබඳ විස්තර සම්බන්ධ කිරීමට මට හැකිවියයි සිතමි. ස්වාමීන් වහන්සේ සංඛාර යන්න ”මතුමත්තේ විපාක දෙන සත්යයක්. ඒ සඳහා තිබෙනව අපේ සන්තානවල චේතනා විසි නවයක් (29) ” යයි වටහා දීම සාමාන්ය අයෙකුට යම් කිසි අවබෝධයක් ඇතිවීමට සෑහේයයි සිතමි.
මෙම දේශනාවෙහි අග කොටසේ ඉතා සුළුකොටසක් තැටි ගතවී නැතිබව පෙනේ. නමුත් පටිච්ච සමුප්පාද විස්තරය සම්පූර්ණ නිසා එය පොතට සෑහේයයි මම සිතමි.
දෙවන දේශනය වනවාසී තිස්ස තෙරුන්ගේ කථාවයි. මෙය කියවන්නාට ඉතා මිහිරි දේශනාවකි.
මෙවැනි ගාම්භීර දේශනා ලිහිල්ව දේශනා කිරීම අතිගරු ස්වාමීන් වහන්සේගේ සංසාර පුරුද්දක් හා පුණ්ය භාග්යයක් යයි මම සිතමි. මෙයින් ලැබෙන කුසල් බලෙන් උන්වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලබා මතු ප්රාර්ථනා පරිදි බුදුබවම අත්වේවා යි ගෞරවාදරයෙන් ප්රාර්ථනා කරමි.
මටත්, මාගේ ස්වාමිපුරුෂයා වන ආතර් සමරසේකරටත්, මාගේ දූ දරු මුණුපුරු මිණිබිරියන්ටත්, මෙලොව පරලොව නිදුක් නිරෝගී භාවය ලබා කෙළවර ශාන්ත අමා මහා නිවන් සුවය ආත්වේවා යි ප්රාර්ථනා කරමි. අභාවප්රාප්ත අපගේ මව්පිය සහෝදර සහෝදරියන්ටත්, පින් බලාපොරොත්තුවෙන් සිටින නෑදෑ හිතමිතුරන්ටත්, සසර දුකින් කෙළවර නිවන්සුව ප්රාර්ථනා කරමි.
මීට,
වෛද්ය නන්දසිලි සමරසේකර
30-01-2011