පටිච්චසමුප්පාදය - දම්පැල්ලේ ගුණසිරි හිමි.pdf
- කතෘ :
- ඇම්. ආචියරතන තිස්ස හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1956
- මුද්රිත වර්ෂය :
- 1956
- පිටු ගණන :
- 47
- බාගත කිරීම් ගණන :
- 1,960
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්රමාණය :
- 36 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුදුරජාණන් වහන්සේ විසින් බෝධි මූලයේදී අනුලෝම-ප්රතිලෝම වශයෙන් මෙනෙහි කරන ලද හේතුඵල ධර්මය හෙවත් පටිච්ච සමුප්පාදය සවිස්තරාත්මක වණ්ණනාවක් සහ සන්නයක් සහිතව විස්තර කෙරෙන ග්රන්ථයකි. මෙහි පාලි පාඨය, පදගත සන්නය සහ විස්තරාත්මක ධර්ම විවරණ ඇතුළත් කර ඇත.
ඇම්. ආචියරතන තිස්ස හිමියන් විසින් මුලින් සම්පාදනය කොට කලින් දෙවරක් මුද්රණය කර තිබූ මෙම කෘතිය, 1956 දී (බු.ව. 2500) පාණදුරේ වලපොල ශ්රී සද්ධර්මෝදය පිරිවෙන්හි වැඩවිසූ දම්පැල්ලේ ගුණසිරි ස්වාමින් වහන්සේගේ සංශෝධනයෙන් යුතුව කොළඹ කරුණාධාර මුද්රණාලයෙන් ප්රකාශයට පත් කර ඇත.
සංඥාපනය
ප්රතීත්ය සමුත්පාදය වූකලී බුද්ධාගමෙහි සඳහන් හේතු ඵල ධර්මයකි. මෙහි දැක්වෙනුයේ සත්ත්වයා අනවරාග්ර සංසාරයෙහි සැරිසරණ-ගමන් කරන පිළිවෙළයි.
චතුරසංඛ්යෙය කල්ප ලක්ෂයක් පිරූ පැරුම් ඇති අප මහ බෝසතාණන් වහන්සේ යම් වෛශාඛ පෞර්ණමී දිනෙක රැ තුන්යමෙහි පිළිවෙළින් යම් ත්රිවිද්යා කෙනෙකුන් පිළි ලැබ බුද්ධරාජ්යප්රාප්ත වූසේක්ද, උන්වහන්සේ විසින් පළමුකොටම හේතු ඵල ධර්ම දෙළොසකින් හෙබියාවූ මේ ප්රතීත්ය සමුත්පාදය අනුලෝම ප්රතිලෝම වශයෙන් සම්මර්ශනය කළසේක. තදනන්තරව “අනෙක ජාති සංසාරං” යනාදි ප්රීති වාක්යය පහළ කළසේක.
චතුරාර්ය්යසත්යය, සත්යඥානතාවය, ප්රතිසන්ධිය, ප්රතීත්ය සමුත්පාදයෙහි ප්රත්යයාකාරය යන මේ කරුණු සතර බුද්ධාගමෙහි ඇතුළත් අතිශය ගැඹුරු ධර්මයන් බැව් “බුද්ධඝෝෂාදී” අටුවාචාර්ය්යවරයන් විසින් දක්වනලදී. එහෙයින් මේ ධර්මයන්ගේ යථා ස්වභාවය දැන ඉගෙනගැනීම කථාන්තරයන්හි තේරුම් දැන ඉගෙනීම මෙන් එතරම් ලෙහෙසි පහසු නො වන්නේමය. කෙසේ හෝ ගැඹුරු ධර්මයක් වුවද නැවත නැවත පරිශීලනය කිරීමෙන් හා ගුරුපදේශාශ්රයෙන්ද උත්සාහවත් ඥානවතුන්ට දැන ඉගෙනගත හැකිවේ.
මේ විශිෂ්ට ප්රතීත්ය සමුත්පාද ධර්මය අද වියතුන්ගේ ගෞරව සම්භාවනාවට කෙතරම් දුරට පාත්රව ඇත්ද යන්න මෙයට පෙර අපර දෙදිග කීර්තිමත් විශාරදයන් විසින් ඒ ඒ භාෂාවන්ගෙන් ලියා ප්රසිද්ධකරන ලද අනෙක ව්යාඛ්යා සංහතියෙන්ම අපට අවබෝධ කරගත හැකිය.
අප ලාංකික සාමාන්ය බෞද්ධ ජනතාවගේ විශේෂ ප්රයෝජනය සලකාගෙන අප විසින්ද මේ සවිස්තර වණ්ණනා සහිත ප්රතීත්ය සමුත්පාදය උගත් ඇම්. ආචියරතන තිස්ස ස්වාමීන් වහන්සේ ලවා සම්පාදනය කරවාගෙන සුදුසු තන්හි අර්ත්ථාවබෝධයට පහසුවන අන්දමේ ප්රතිරූපවලින්ද සරසා මෙයට ප්රථමයෙන්ද දෙවරක් මුද්රණද්වාරයෙන් ප්රසිද්ධ කරණ ලදී.
මෙවර මෙහි සංශෝධන පූර්වක ශෝධ්යපත්ර පාණදුරේ වලපොළ ශ්රී සද්ධර්මෝදය පිරිවෙන්හි දම්පැල්ලේ ගුණසිරි ස්වාමින් වහන්සේ ලවා කරවා ගන්නට යෙදුන බැව් ගෞරවයෙන් සඳහන් කරම්හ.
මේ වර මුද්රණයද ශීඝ්රලෙස කරන්ට යෙදුනු නිසා මෙහි යම් යම් ප්රමාද දෝෂස්ථාන ඇතිවිය හැකි හෙයින් එහිලා ධර්මධරයන්ගේ උපෙක්ෂාවම අපේක්ෂා කරම්හ.
‘‘කරුණාධාරමුද්රණාලය’’ නො: 97, මාලිගාකන්ද පාර, මරදාන. 15-6-56
පී. ජේ. කරුණාධාර