පටිච්චසමුප්පාද දේසනා - බුද්ධදාස මහත්මා.pdf

කතෘ :
ඒ. ඩී. එම්. බුද්ධදාස
ප්‍රකාශිත වර්ෂය :
1991
මුද්‍රිත වර්ෂය :
1991
පිටු ගණන :
258
බාගත කිරීම් ගණන :
1,946
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
81 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 130

පටිච්චසමුප්පාද දේශනා යනු ප්‍රවීණ අභිධර්මාචාර්ය ඒ. ඩී. එම්. බුද්ධදාස මහතා විසින් පවත්වන ලද පටිච්චසමුප්පාදය පිළිබඳ ධර්ම දේශනා එකතුවකි. බුදුදහමේ ගැඹුරුතම දේශනාවක් වන පටිච්චසමුප්පාදය, ධර්ම හා අභිධර්ම ක්‍රමවේදයන්ට අනුව සරලව සහ ගැඹුරින් විස්තර කරමින් ශ්‍රාවකයන්ගේ අවබෝධය පිණිස ඉදිරිපත් කර තිබේ.

මෙම කෘතියේ ආරම්භක කොටසෙහි මීතිරිගල නිස්සරණ වන සේනාසනාධිපතිව වැඩවිසූ මාතර ශ්‍රී ඤාණාරාම මහාස්ථවිරයන් වහන්සේගේ හැඳින්වීමක් සහ ගල්දූව යෝගාශ්‍රමයේ නාලන්දේ අරියධම්ම ස්ථවිරයන් වහන්සේගේ පෙරවදනක් ඇතුළත් වේ. බුද්ධදාස මහතා විසින් පටිගත කරන ලද දේශනා එලෙසින්ම මෙහි අක්ෂරාරූඪ කොට ඇත.

කෘතියෙහි අඩංගු ප්‍රධාන මාතෘකා අතර:

  • අවිද්‍යාව
  • සංඛාර පච්චයා විඤ්ඤාණං
  • විඤ්ඤාණ පච්චයා නාමරූපං
  • නාමරූප පච්චයා සළායතනං
  • සළායතන පච්චයා ඵස්සො
  • ඵස්ස පච්චයා වෙදනා
  • වෙදනා පච්චයා තණ්හා
  • තණ්හා පච්චයා උපාදානං
  • භව පච්චයා ජාති
  • ජාති පච්චයා ජරා මරණං

මෙම මුද්‍රණය 1991 වර්ෂයේදී නුගේගොඩ බෞද්ධ කල්‍යාණ මිත්‍ර සංගමය මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, මුද්‍රණය කර ඇත්තේ මහරගම සීමාසහිත රුවන් පතරුව (පෞද්ගලික) සමාගම මගිනි.

හැඳින්වීම

පටිච්ච සමුප්පාද කථාව බුදු දහමෙහි දැක්වෙන ගැඹුරු දහම් කොටස් අතරෙහි සවිස්තරව සඳහන් වී ඇත. “ගම්භීරොචායං ආනන්ද පටිච්ච සමුප්පාදො ගම්භිරාවභාසොච ” යන්නෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ම ආනන්ද, මේ පටිච්ච සමුප්පාදය ගැඹුරුද වේ ගැඹුරු පෙනුමක් ඇත්තේ ද වේ යයි දේශනා කරන ලද්දේය.

“සච්චං සත්තො පටිසන්ධි- පච්චයාකාර මෙවච දුද්දසා චතුරොධම්මා දෙසෙතුඤ්ච සුදුක්කරා ”

යනුවෙන් අර්ථ කථාවාචාර්ය බුද්ධඝොෂ හිමියෝද චතුරාර්ය සත්‍යය, සත්ත්ව ශූන්‍ය වූ සංස්කාර කොටස් තුළ සත්ත්ව ව්‍යවහාර-සත්ත්වාර්ථ කෘත්‍ය සිද්ධියද, ප්‍රතිසන්ධි ක්‍රමය සහ ප්‍රත්‍යයාකාර නම් වූ ප්‍රත්‍යය ධර්මයන් පිළිබඳ ස්වකීය ඵලයා ගේ ප්‍රත්‍යය භාවය වූ පටිච්ච සමුප්පාදය ද යන මේ ධර්මයෝ තේරුම් ගැනීමට ද දුෂ්කර වෙති, දේශනා වශයෙන් විස්තර කිරීම අතිශයින් දුෂ්කරයයි ගැඹුරු බව ම ප්‍රකාශ කළහ. මේ පටිච්ච සමුප්පාද ශබ්දය පිළිබඳව ද පැරණියන් අතර විවිධ මතයන් පැවැති බව විසුද්ධි මග්ගයෙහි දක්වා ඇත.

ඵලයක් ඉපදවීමට සමත් පටිච්ච සමුප්පාද ධර්මයන්ගේත් එයින් සිදුවන ඵලයන්ගේත් ප්‍රත්‍යය වන ආකාරයන්ගේත් සියුම් විවිධතාවන් අනුව මේ දේශනා ගැඹුරු බව සලකාගත හැකි වේ. මේවා පිළිබඳ විස්තර කථාව මෙයට සම්බන්ධ පෙරවදනෙහි පළවෙනවා ඇත.

මේ පටිච්ච සමුප්පාද දේශනාව පවත්වන බුද්ධදාස මහත්මා ස්වකීය දේශනාවේ දී ශ්‍රාවක පිරිස තුළ සැදැහැ දියුණුව සැප යෙන සේ ඉතා ගැඹුරු කරුණු පහදා දෙන ආකාරය ආශ්චර්ය ජනකය. ගැට සහිත හැම දෙයක්ම යටපත් නොකොට ලිහා එළි පැහැදුන් කරදීමට එතුමාට අභිධර්මය පිළිබඳ පූර්ණ දැනුමක් තැන්පත් වී ඇත. සූත්‍ර විනය දෙක පිළිබඳවත් සෑහෙන දැනුමක් ඇති හෙයින් මෙහි ශාස්තෲ මතය වැළහී ගොස් නැත. එහෙයින් ධර්ම මාර්ගය මැනැවින් පැහැදිලි වී තිබේ.

මේ සේ ධර්මකාමීන් හට මේ දේශනාවන්හි සඳහන් වන ධර්ම විස්තරයන් සාදරයෙන් තේරුම්ගෙන සසර දුකින් නිදහස් වී අමාමහ නිවන් සිරිසුවය පසක් කරගන්නා ලෙස මතක් කර දෙමි.

මාතර ශ්‍රී ඥානාරාම මහාස්ථවිර
නිස්සරණවනය,
මීතිරිගල,
1990.09.04

පෙරවදන

“අධිගතො ඛො ම්‍යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනු බොධො අතක්කාවචරො නිපුණො පණ්ඩිත වෙදනීයො ......... ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො” (මහාවග්ග පාළි මහාඛන්ධකය)

සර්වඥ සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සත්සති ගෙවා අටවැනි සතියේදී ධර්ම ගාම්භීරත්වය මෙනෙහි කළ ආකාරය ඉහත දැක්වූ පාඨයෙන් හැඳින්වේ.

මා විසින් වනාහි ඒකාන්තයෙන් ගම්භීර වූ දැකීමට දුෂ්කර වූ අවබෝධ කිරීමට දුෂ්කර වූ තර්කයෙන් බැසගත නොහැකි වූ අතිසියුම් වූ බුද්ධාදි පණ්ඩිතයන් විසින්ම දත යුතු වූ ධර්මය අවබෝධ කරන ලද්දේය. ........ මේ හේතුවෙන් මේ ඵලය වන්නේයයි කියන ලද පටිච්ච සමුප්පාදය ද නුවණින් දැකීමට දුෂ්කරය, අවබෝධ කිරීමට දුෂ්කරය” යනු ඒ පාඨයේ තේරුමයි.

සර්වඥයන් වහන්සේ බුද්ධත්වයට පත්වූයේද පටිච්ච සමුප්පාදය සම්මර්ශනය කිරීමෙනි. ලොව පහළවන සියළු බුදුවරයන් වහන්සේලා බුදුබව පිණිස වඩනු ලබන්නේ ද පටිච්ච සමුප්පාද විදර්ශනාවමය.

චතුරාර්ය සත්‍යය-සත්වයාය-ප්‍රතිසන්ධිය-පටිච්ච සමුප්පාදය යන කරුණු සතර අවබෝධ කිරීමත් දේශනා කිරීමත් අති දුෂ්කර බව අර්ථකථාවාචාර්ය වරයෝද ප්‍රකාශ කරති.

“සච්චං සත්තො පටිසන්ධි-පච්චයාකාර මෙව ච දුද්දසා චතුරො ධම්මා-දෙසෙතුඤ්ච සුදුක්කරා”

අර්ථ ගම්භීරතා-ධර්මගම්භීරතා-දේශනා ගම්භීරතා- ප්‍රතිවේධ ගම්භීරතා යන ගම්භීරතා සතරින් ම පටිච්ච සමුප්පාදය ගැඹුරුය. පටිච්ච සමුප්පාදය සාගරය සේ ගැඹුරු බවත් කුඩා සාවකු විසින් සාගරය තරණය කළ නොහැකිවා සේ සාමාන්‍ය කෙනෙකුට පටිච්ච සමුප්පාද සාගරය තරණය කිරීම පහසු කාර්යයක් නොවන බවත් බුද්ධඝෝෂාචාර්‍ය්‍යයන් වහන්සේ ද කියා ඇත. සිය දහස්වර හෝ ඇසීමෙන් කියවීමෙන් සාකච්ඡාවෙන් මනසිකාරයෙන් මේ ගාම්භීර ධර්මය අවබෝධ කළ යුතුමය. ‘’වක්කලි! යමෙක් පටිච්ච සමුප්පාද ධර්මය දකී නම් හෙතෙමේ මා දක්නා වන්නේ’’ යයි වදාළේ සර්වඥයන් වහන්සේ දැකීම නම් පටිච්ච සමුප්පාදය දැකීම බවයි. එනිසා මුළු ජීවිතයම කැප කොට හෝ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීමට උත්සාහ ගත යුතු වේ.

මේ පටිච්ච සමුප්පාද ග්‍රන්ථය දේශනා මාලාවක එකතුවකි. මුළු ජීවිතයම බුද්ධ ධර්මය හැදෑරීමටත් දේශනා මාර්ගයෙන් අන්‍යයන්හට අවබෝධ කරවීමටත් කැපකළ දිවංගත ධර්මාචාර්ය ඒ. ඩී. එම්. බුද්ධදාස මහත්මයා ධර්මභාණ්ඩාගාරයක් වැනිය. කඳුමුදුනකින් නොනැවතී ගලා හැලෙන දිය ඇල්ලක් සේ නොනැවතී මධුර ස්වරයෙන් හා චතුර වාක් විලාසයෙන් යුතුව එතුමා විසින් දේශනා කරන ලද ධර්ම දේශනා අතිශයින් සාරවත්ය, මධුරය, ධර්ම රසයෙන් අර්ථ රසයෙන් අනූනය. එක දහම් පදයක් විවරණය කිරීමේදී ත්‍රිපිටකයේ නොයෙක් තැනින් කරුණු ඉදිරිපත් කරමින් සාමාන්‍ය ජනතාවට වැටහෙන සරල බසින් දහම් දෙසීමට එතුමා පෙර බුදුවරයන්ගෙන් වරම් ලබාගෙන ආවා වැනිය. එතුමා විසින් දේශනා කරන ලද ධර්ම දේශනා 22 ක එකතුවක් වූ ධම්මචක්ක දේශනා ග්‍රන්ථ යෙන්ම එතුමාගේ දේශනා කෞශල්‍යය මනාසේ දතහැකි වේ.

නුගේගොඩ බෞද්ධ කල්‍යාණ මිත්‍ර සංගමය මගින් දෙවැනි වරට පටිච්ච සමුප්පාද දේශනා මාලාව ග්‍රන්ථයක් වශයෙන් මුද්‍රණය කරනු ලබන්නේ දිවංගත වූ බුද්ධාංකුර බුද්ධදාස මහතා සිහිපත් කරනු ලබන සතරවැනි වර්ෂ පූර්ණ පුණ්‍ය කර්මයක් වශයෙනි. අවුරුදු 5000 ක් පවත්නා බුද්ධ ශාසනයේ චිරජීවනය සඳහා නිර්මල බුද්ධ ධර්මය ප්‍රඥා පාරමිතා ශීර්ෂයෙන් දේශනා කරමින් උදාර ධර්ම සංග්‍රහයක් ජනතාවට බෙදා දී ධර්ම මනසිකාරයෙන් ම දිවංගත වූ බෝධිසත්ව ගුණෝපේත ධර්මාචාර්ය ඒ. ඩී. එම්. බුද්ධදාස මහත්මා නැවත නැවතත් ශ්‍රී ලංකාවේ පහළ වේවා. නැවත නැවතත් ධර්ම දේශනා කරමින් බුදුසසුන ඒකාලෝක කෙරේවා. එතුමා සිදුකළ අසීමිත අමිල ධර්ම සේවයම පාරමී බවට පැමිණීමෙන් මතු උතුම් බුදුබව අත්වේවා. බෞද්ධ කල්‍යාණ මිත්‍ර සංගමයට ද බුද්ධාංකුර බුද්ධදාස මහත්මයා විසින් පවත්වනු ලැබූ උතුම් ධර්ම සේවය අතරක් නෑර නිවන දක්වාම පවත්වාගෙන යාමට ශක්තිය බලය ධෛර්යය වීර්‍ය්‍යය ආශීර්වාදය රත්නත්‍රයානුභාව බලයෙන් ලැබේවා.

පරම ගම්භීර වූ පටිච්ච සමුප්පාදය පිළිබඳව බුද්ධදාස මහත්මාණන් විසින් පවත්වන ලද මේ දේශනා මාලාව මුල සිට අග දක්වා සාවධානව කියවූයෙමි. අගනා මිණිරුවන් පෙළක් සේ වැටහී ගියේ චතුර දේශනා විලාශයත් සාරවත් ධර්ම සම්පිණ්ඩනයක රසයත් විඳගනිමිනි. මෙම ධර්ම ග්‍රන්ථය කියවන සැමට සුවසේ ධර්මය අවබෝධ වේවා.

මෙයට-මෙත්තැති,

නාලන්දේ අරියධම්ම ස්ථවිර

නාලන්දේ අරියධම්ම ස්ථවිර
ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය
ගල්දූව-කහව-අම්බලන්ගොඩ
2534-1990.10.01 සඳු දින