නිර්මාංශ ප්‍රශ්නය - කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි.pdf

කතෘ :
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
2008
මුද්‍රිත වර්ෂය :
2008
පිටු ගණන :
109
බාගත කිරීම් ගණන :
2,678
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-10-29
ගොනුවේ ප්‍රමාණය :
483 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 55

නිර්මාංශ ප්‍රශ්නය යනු බෞද්ධ සමාජය තුළ දිගු කලක් තිස්සේ විවාදයට ලක්ව ඇති නිර්මාංශ හා මාංශ ආහාර අනුභවය පිළිබඳ ගැටලුව, බුද්ධ දේශනාව හා විනය නීති පදනම් කරගෙන මධ්‍යස්ථව සහ විචාරාත්මකව විග්‍රහ කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත කෘතියකි.

නිර්මාංශ වීම ශීලයක් ලෙස වරදවා වටහා ගැනීම, මහායාන අදහස් සහ සමාජගත වැරදි මතවාදයන් නිරවුල් කරමින්, භික්ෂූන් වහන්සේලාට සහ ගිහියන්ට බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හා සම්බන්ධ සැබෑ විනය කරුණු මෙහිදී ප්‍රශ්නෝත්තර ආකාරයෙන් සාකච්ඡා කෙරේ. මෙහි අරමුණ මාංශ භක්ෂණය අනුමත කිරීම හෝ නිර්මාංශ අයට ගැරහීම නොව, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පිටත පවතින අනවශ්‍ය මතභේද දුරුකොට ශාසනික ප්‍රතිපත්තිය නිවැරදිව පෙන්වා දීමයි.

මෙම කෘතිය කොළඹ දයාවංශ ජයකොඩි සහ සමාගම මඟින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලද අතර, පසුව මහමෙව්නාව භාවනා අසපුව මඟින් අන්තර්ජාල සංස්කරණයක් ලෙස ද බෙදාහරින ලදි.

පිදුම

නිර්මාංශ වීම විමුක්ති මාර්ගයේ අනිවාර්යය අංගයක් යයි අදහා ගෙන එයම දැඩි ලෙස වැළඳගෙන සිටි නිගණ්ඨයන්ගෙන් පිරුණු භාරතීය සමාජයෙන් එල්ල වූ සියලු නින්දා අපහාස අභියස ඉතාමත් අභීතව තම ශ්‍රාවක ජනතාව ධර්මය තුළින් නගා සිටුවීමේ කාර්ය භාරය අතිශයින්ම සාර්ථක ලෙස සම්පූර්ණ කොට වදාළ මාගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පා කමල් අභියස මෙය වනපස මලක් වේවා!

පෙරවදන

හැම දෙනාට ම තෙරුවන් සරණයි!

වර්තමානයේ බෞද්ධ යැයි කියා ගන්නා මේ සමාජයෙහි බොහෝ ගිහි පැවිදි පින්වතුන් ගේ සාමාන්‍ය ස්වභාවය නම් ඕනෑම දෙයක් පිළිබඳව නො විමසා අවිචාරවත් ව නිගමනයන්ට බැසගැනීම යි. එසේ බැසගත් අවිද්‍යා සහගත මතවල පැටලී අනුන්ට ගැරහීමෙන් ඔවුහු අමුතු ම අස්වාභාවික තෘප්තියක් ලබති.

එනිසාම බොහෝ දෙනෙකුට නිදහස් චින්තනයක් නැත. මධ්‍යස්ථව කරුණු විමසා බැලීමක් ද නැත. එසේ විමසා බැලීමේ හැකියාවක් ද නැත. බොහෝ දැනමුතුකමින් යුතු යැයි සිතාගෙන සිටිනා ඔවුන් තුළ තිබෙන්නේ නො දැනීම ම බව ඔවුන්ට නො පෙනෙන්නේ අවිද්‍යාව නිසා ය. සුළු කරුණකිනුත් විවිධ අදහස් වැළඳ ගෙන එහි ම තරව වැඳී සිටිමින් තම මතවාද හුවාදැක්වීම ඔවුන් තුළ දක්නට ලැබෙන සාමාන්‍ය ලක්ෂණය යි.

එම ලක්ෂණය ගැලපෙන්නේ බෞද්ධයන්ට නොවේ. අන්‍යාගමිකයන්ට යි. විචාරාත්මක අධ්‍යයනයකින් තොරව හුදු විශ්වාසය ම ඒකායන මාර්ගය කරගත් අන්‍යාගමිකයින් කොපමණ දෘෂ්ටිගතව සිටිය ද ඔවුන්ට ඒ බව යාන්තමින් වත් නො වැටහීම පිළිබඳ ඔවුන් නො දනිති.

එහෙත් බෞද්ධ අප එසේ නො විය යුතුය. ඕනෑම විවාදාත්මක කරුණක් පිළිබඳව එකඑල්ලේ නිගමන වලට බැස ගෙන දෘෂ්ටිගත වීම වෙනුවට මධ්‍යස්ථව විචාරාත්මකව අධ්‍යයනය කොට නිගමනයන්ට පැමිණීමේ හැකියාව බෞද්ධ අපට තිබිය යුතු නො වේද?

මෙම ග්‍රන්ථයෙහි ද සාකච්ඡා වන්නේ එබඳු විවාදාත්මක කරුණකි. බොහෝ කලක් මුලුල්ලෙහි බෞද්ධ ජනතාව මෙම ප්‍රශ්නය හේතු කොට ගෙන විවිධාකාර මතභේද ඇති කර ගෙන ඔවුනොවුන් හට අවලාද නගමින් පිල් බෙදී සිටිති.

මහායානය නම් වූ අධර්මයෙහි පවා මෙම කරුණ පිළිබඳව සූත්‍ර රචනා කරමින් පක්ෂග්‍රාහී විවරණ දී තිබේ. විශේෂයෙන් ම මෑත කාලීන ලාංකික සමාජය මෙම මතය ගැන විවිධ දේ පවසන්නට පටන් ගෙන තිබෙන්නේ කරුණු කාරණා මධ්‍යස්ථව විමසා බැලීමෙන් තොරව කල්පනා කිරීම නිසා ය. මෙම විවාදාත්මක කරුණ වනාහී අන් කිසිවක් නොවේ. “බෞද්ධයන් අනුභව කළ යුත්තේ නිර්මාංශ ආහාර පමණි. එසේ නො වුන හොත් ඔවුන්ගේ සිල් බිඳී යන්නේ ය. ඔවුන් හට බෞද්ධ යැයි කිව නො හැක්කේ ය” යන්න යි.

ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් සිටින කෙනෙක් මෙම කරුණෙහි ඇත්ත නැත්ත ගැන පහදා දීමට බිය වේ. එසේ බිය වන්නේ ඉතාමත් ම පටු ආකල්පයන්ට පැමිණ සිටින නිර්මාංශභක්තික ඇතැම් ගිහි පැවිදි පිරිස් වචන නැමැති අඩියටි අමෝරා ගෙන ඒ නිදහස් මතධාරියාට පහර පිට පහර දීමට දයානුකම්පා විරහිතව සැදී පැහැදී සිටීම යි. ඔවුන් සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ කරුණා මෛත්‍රියෙන් පිරුණු සළුපිළි පොරවා ගත් මහා ධර්මදූතයින් පරිද්දෙනි. නිර්මාංශ වීම සීලයක් ලෙස ම හුවා දක්වමින් අනුන්ට ගැරහීමේ දී ඔවුන් තුළ ලැජ්ජා බිය මාත්‍රයක් වත් නැත. එය මෙම සමාජයේ දක්නට ලැබෙන සාමාන්‍ය ලක්ෂණයකි. එනිසා ම සත්‍යය මතු කොට කතා කිරීමට බොහෝ දෙනෙක් බිය වෙති.

එහෙත් මවිසින් සියලු දෙනා ගේ යහපත පිණිස ඉතා ම මධ්‍යස්ථව මෙකරුණ ගැන සාකච්ඡා කරන ලදී. බුද්ධිමත් කෙනෙකුට මෙය කියවා බලා සාධාරණ නිගමනයනට පැමිණිය හැකි ය. හුදෙක් තර්කය ම අවිය කොට නො ගෙන ධර්මය තුළින් විමසා බලන හැටි ඉගෙන ගත හැකි ය.

ඇතැම් සැදැහැවතුන් තුළ ධර්මය කෙරෙහි චිත්තප්‍රසාදය ඇති වන අවස්ථා තිබේ. එවිට ඔවුහු ප්‍රායෝගිකව ධර්මයෙහි හැසිරෙන්නට කැමැති වෙති. එයට අදාල යමක් සොයන්නට පටන් ගනිති. එකල්හි ඔවුන්ට එක සැණින් ම මතක් වන්නේ “ඔව්!.... මා නිර්මාංශ ආහාර අනුභව කරන කෙනෙක් වීමෙන් මේ ධර්ම මාර්ගය පටන් ගන්නවා!” යන අදහස යි. එය වනාහි ඔවුන් තුළ ඇතිවන ඉතාමත් මානුෂික වූත් සාධාරණ වූත් ආකල්පයකි. නමුත් බෙහෝ විට සිදුවන්නේ එපමණකින් ම ඔවුන් සෑහීමකට පත්වීම යි. ඉන් පසු නිර්මාංශ ආහාර අනුභවය මිස ධර්මය පිළිබඳව ගැඹුරින් හැදෑරීමක් ඔවුන් තුළ දක්නට නො ලැබේ.

මෙය සානුකම්පික තත්වයක් නො වේද? සියලු ම බුදුරජාණන් වහන්සේලා විසින් එක ම අයුරින් දේශනා කොට වදාරණු ලබන පිවිතුරු ශ්‍රී සද්ධර්මය තරමක් දුරට හෝ අර්ථ වශයෙන් අවබෝධ කර ගන්නට ලැබේ නම් එය කෙනෙකුට ලැබෙන කොතරම් භාග්‍යයක් ද?

බුදුරජාණන් වහන්සේ නමක් විසින් මනුෂ්‍ය වර්ගයා හට දායාද කරනු ලබන්නේ උන්වහන්සේ ගේ අසිරිමත් ප්‍රඥා නිධානය වන චතුරාර්ය සත්‍යය ධර්මය යි. ගුරුපදේශ නොමැතිව අවබෝධ කරගනු ලබන එම ධර්මය වනාහී සත්වයා පෘථග්ජනභාවයෙන් එතෙර කරවයි. සතර අපායෙන් මුදවයි. සසර ගමන කෙටි කරවයි. දෙව් මිනිස් සුගතියෙහි උපත ලබාදෙයි. අමා මහ නිවනට පමුණුවයි.

මේ සා පරම සුන්දර වූ ධර්මයක් අභියස ආහාර අනුභවය පිළිබඳව මතිමතාන්තර සමූහයක් හුවාදක්වමින් එය බෞද්ධ සමාජයේ මූලික අර්බුදයක් බවට පත් කර ගැනීම මොනතරම් අවාසනාවක් ද? බොළඳ ප්‍රශ්න අභියස චතුරාර්ය සත්‍යය ධර්මය හෑල්ලුවට පත් වීම බුදු සසුනේ දියුණුව කැමැති කෙනෙක් තුළ මහත් සංවේගයක් ඇතිකරවයි.

මතවාදවල සිරවී එයින් ම ගෞරවය අපේක්ෂා කරන හිස් මිනිසුන් ගෙන් ඕනෑම නින්දා අපහාසයක් අසන්නට ලැබුණොත් හිත හදාගෙන එය ඉවසා ගැනීමේ අදහසින් ම ය මේ කටයුත්තට මා අත ගැසුවේ.

ධර්මය දකින්නට තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කිරීමෙන් මිස වෙන ක්‍රමයකින් නො වන බව ධර්මය දන්නා සියලු දෙනා දනිති. එය සක්සුදක් සේ පැහැදිලි කරුණකි. එවන් පැහැදිලි මඟක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබිය දී වෙන මතිමතාන්තර තුළින් ඒ මාර්ගය විකෘති වීමට ඉඩ දී බලා සිටීම ශාසනකාමී බෞද්ධයන් ගේ යුතුකමක් නොවේ.

මා මේ පොත ලියන්නේ මාංශභක්ෂකයින් බිහිකිරීමට නොවේ. නිර්මාංශී උදවියට ගැරහීමට ද නොවේ. නිර්මාංශී වීම හෝ නො වීම තුළ වාද විවාද හටගැනීම වළක්වාලීම පිණිස ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරගැනීමට අනුබල දීම පිණිස ය. සමගිය ඇතිවීම පිණිස ය. වාද විවාද නො කරමින් හැබැම කරුණා මෛත්‍රියෙන් යුතුව ගෞතම ශාසනයෙහි පිළිවෙත් පිරීම පිණිස ය. එනිසා මේ පොත කියවීමෙන් නිර්මාංශ ආහාර පිළිබඳව කෙනෙකු ගේ අවබෝධය නිවැරදි වේ නම් පොත ලිවීමේ උත්සාහයට එය ම සෑහේ.

මේ සඳහා මා හට නිරන්තරයෙන් උපකාරීව සිටින අප කල්‍යාණ මිත්‍ර දයාවංශ ජයකොඩි මහතාත්, එම කාර්ය මණ්ඩලයත් ලබා දෙන සහයෝගය වෙනුවෙන් මම පින් පවරමි. සියලු දෙනා හට ම මේ ගෞතම බුදුසසුනේ චතුරාර්ය සත්‍යය ධර්මය තම තම නැණ පමණින් පසක් කර ගැනීමේ භාග්‍යය උදා වේවා !

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ බක් මස 22 දා