නියාම දීපනිය - ලේඩිශයඩෝ හිමි අරංගල සිරිධම්ම හිමි.pdf

කතෘ :
ලේඩි සයඩෝ හිමි
පිටු ගණන :
63
බාගත කිරීම් ගණන :
2,023
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-12-10
ගොනුවේ ප්‍රමාණය :
19 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 32

නියාම දීපනිය යනු බුරුමයේ වැඩවිසූ ලේඩි සයඩෝ (ඤාණාලංකාරාභිධාන) මහා ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත පාලි කෘතියක් ඇසුරින් කොළඹ දෙමටගොඩ මහා විසුද්ධාරාමාධිවාසී අරංගල සිරිධම්ම ස්වාමිපාදයන් වහන්සේ විසින් 1918 දී කරන ලද සිංහල අනුවාදයකි. මෙම මුද්‍රණය ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් ධර්මදානය සඳහා යළි සකස් කර පළ කරවන ලද්දකි.

බුදුදහමෙහි විග්‍රහ වන නියාම ධර්ම පඤ්චකය වන බීජ නියාමය, ඍතු නියාමය, කර්ම නියාමය, ධර්ම නියාමය සහ චිත්ත නියාමය පිළිබඳ ගැඹුරු අභිධර්ම සංකල්ප මෙහිදී විස්තරාත්මකව හා නිදසුන් සහිතව විවරණය කර ඇත. ලෝකෝත්පත්තිය හා ස්වභාවධර්මයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරමින් මැවුම්වාදී ආදී විවිධ මිථ්‍යා දෘෂ්ටි දුරු කිරීමට මෙම කරුණු හේතු වන අයුරු කෘතියෙන් පෙන්වා දෙයි.

පොතෙහි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙන නියාම ධර්ම පහ මෙසේය:

  • බීජ නියාමය ප්‍රකාශවන වචනය
  • ඍතු නියාමය ප්‍රකාශවන වචනය
  • කම් නියාමය ප්‍රකාශවන වචනය
  • ධම් නියාමය ප්‍රකාශවන වචනය
  • චිත්ත නියාමය ප්‍රකාශවන වචනය

ලේකම්ගේ සටහන්...

සසර කතරින් එතෙරව ලබන නිවන මුඛ්‍ය පරමාර්ථය කොට ගත් භාවනා මග එකකි. දැනුම කේන්ද්‍ර කරගත් කල්පනා මග තවෙකකි. මේ නිසා නිවනට හේතු නොවන, දැනුමට හේතුවන කරුණු පහක් අචින්ත්‍ය (නො සිතිය යුතු) කරුණු ලෙස බුදුසමයේ පසෙක තබා ඇත. බුද්ධ විෂය, සත්ත්ව විෂය, කර්ම විෂය, ලෝක විෂය හා ඉද්ධි විෂය යනුවෙන් ඒවා හඳුන්වා ඇත. සිතන්නට සිතන්නට අගක්-මුලක් නොපෙනෙන මේ මාතෘකා මූලික පරමාර්ථයෙන් අප බැහැර කරයි.

මෙයින් සමහර කරුණු ඇතුළත් නියාම ධර්ම පහක් ගැන ද බුදුසමයේ උගන්වයි. විග්‍රහ කිරීමේදී වැඩි බරක් නොතබා සටහන් වන මේ කරුණු ගැන ද ත්‍රිපිටකයේ විස්තරාත්මක සටහන් සපයා ගැනීමට නැත. බීජ නියාම, ඍතු නියාම, කර්ම නියාම, චිත්ත නියාම, හා ධර්ම නියාම ඒවාය. ස්වභාවික වූ මේ කරුණු ගැන ද වැඩි සෙවීම දැනුම කේන්ද්‍ර කරයි.

භාරතයේ නිර්මාණවාදී ආගම් සම්බන්ධයෙන් පිළිතුරු දීමේදී මේ කරුණු අවියක් ලෙස ප්‍රයෝජනයට නොගත් නමුත් පසු කාලයේ අපරදිගින් පැමිණි එවැනි ආගම් මෙහි ජනිත කළ ආගමික මතවාදයන්ට පිළිතුරු දීමේදී මේ කරුණු ප්‍රයෝජනයට ගැනිණ. එකල බුරුමයේ උගතුන් විසින් මේ කරුණු මතු කර බෞද්ධ දර්ශනයේ එන කරුණු හා ගලපන ලද අතර ශ්‍රී ලංකාවේ ඇති වූ පසුබිමට ද එම කරුණු එසේ ම ප්‍රයෝජනවත් විය. මෙහි ඇති වූ ආගමික වාද ඊටත් වෙනස් වූ ස්වරූපයක් ගත් බව පානදුරාවාදාදී වාද සටහන් කියවන විට පෙනී යයි.

දුර්වාදමථනය සඳහා බුරුමයේ ලේඩිශයාඩෝ හිමියන් ලියූ බුරුම පොතේ අර්ථය උකහාගෙන අරංගල සිරිධම්ම මාහිමියන් විසින් මේ පොත ලියවිණ. බෞද්ධ උගතුන් වෙත, මහනුවර පරිහානි යුගයෙන් පසු සියම හා බුරුමය පසුබිම් කොට දැනුම කේන්ද්‍රගත වූ ආකාරයත්, එකල සිංහල භාෂා ස්වරූපයත් තේරුම් ගැනීමට ද මේ පොත ප්‍රයෝජනවත් ය. පූජ්‍යපාද රේරුකානේ මහනාහිමියන්ගේ ‘සතිපට්ඨාන භාවනා ක්‍රමය’ ට ද ලේඩිශයාඩෝ හිමියන්ගේ පොත් උපයෝගී විය.

‘නියාම දීපනිය’ ලියූ අරංගල සිරිධම්ම හිමියෝ රාමඤ්ඤ නිකායේ පැවිදිව, ගාල්ලේ විජයානන්ද පිරිවෙනෙහි දීප්තිමත් ශිෂ්‍යයෙක්ව සිට පරමාර්ථ ධර්ම ඉගෙනීම සඳහා බුරුමයේ ශ්වේජින් නිකායට ඇතුළත් වූහ. එහිදී භාෂා ශාස්ත්‍ර, ඡන්දස් අලංකාර හා අටුවා සහිත ත්‍රිපිටකය හදාරා කලක් ශ්වේජින් නිකාය මූලස්ථාන පිරිවෙන්හි ආචාර්යවරයකු වශයෙන් ද සේවය කළහ. ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහානායක පදවියට පත් හිමිවරුන් තිදෙනකුට ම තම සෙවණේ ගුරුහරුකම් දෙන්නට ලක්දිව සැපත් උන්වහන්සේට හැකිවිය. උන්වහන්සේ මෙවැනි පොත් 20 ක් පමණ ලියා ඇති අතර, ප්‍රකාශිත පොත් නාමලේඛනයෙන් ම උන්වහන්සේගේ අභිධර්මය පිළිබඳ දැනුම ප්‍රකට වෙයි.

මේ පොත නැවත මුද්‍රණය කිරීමේ පදනම වැටුණේ අහම්බෙනි. රුවන්වැල්ලේ ජී.කේ. සීතා දම්මිකා කුමාරි මහත්මිය මේ විෂය ගැන කරුණු සොයමින් සිටි අතර, ඇගේ යෙහෙළියක විසින් අප වෙත යොමු කරන ලද්දුව මෙහි මුල් පොත ඇයට ලබා දුනිමි. එය කියවූ ඇය ඇගේ ආගමික අවබෝධය ක්‍රමවත් කරගැනීමට උදව් වූනයි තවත් බොහෝ දෙනාට මෙය කියවීමට සැලැස්වීමේ උතුම් වූ ධර්මදානමය චේතනාවෙන් මෙය ඔබ වෙත ප්‍රදානය කරයි.

පූජ්‍ය අරංගල සිරිධම්ම මාහිමියන්ගේ විහාර පරපුරේ වර්තමාන විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වැලිමඩ ශාන්ත ස්වාමීන් වහන්සේ මේ පොත අප මණ්ඩලයෙන් මුද්‍රණය කිරීම ගැන එකඟතාවය පළ කිරීමත්, ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් ඒ සඳහා කටයුතු කිරීම සභාපති පූජ්‍ය කිරිබත්ගොඩ ධම්මානන්ද හිමියන් ප්‍රමුඛ සාමාජිකත්වයෙන් අනුමත වීමත් වැදගත් ශාසනික තීරණයක් සේ සලකමු. මුල් කෘතියේ තිබූ පදබෙදීම්, හා මුද්‍රණ සැලසුමේ අභියෝග ජයගෙන කියවා තේරුම්ගත හැකි සේ සකස් කිරීමේදී සෝදුපත් සැසඳීමේ දී සහාය වූ මාලනී, අක්ෂර සංයෝජනයෙන් උපකාරී වූ හොරණ රූ-මායා ග්‍රැෆික්ස් හි සාලිය ජයකොඩි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, මුද්‍රණයෙන් හැඩ කළ සිකුරු ප්‍රකාශක ගිහාන් අනුරංග පුතා ඇතුළු කාර්ය මණ්ඩලයට පින් දෙමින් සිහි කරමි.

තෙරුවන් සරණයි!

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය

පළමු මුද්‍රණයේ පෙරවදන

“නියාමදීපනිය” නම් වූ මේ ධර්ම ග්‍රන්ථය දැන් මේ ලැබී තිබෙන සර්වඥ ශාසනයෙහි බුද්ධාගමකාර ජනී ජනයන් විසින් ඒකාන්තයෙන් ම ඉගෙනිය යුතු නියාම ධර්ම පඤ්චකය විස්තර කිරීමෙන් කරන ලද්දකි. එහෙයින් යම් පුද්ගලයෙක් මේ ග්‍රන්ථය මුල පටන් අග දක්වා සිහි නුවණින් යෙදී නැවත නැවත කියවීමෙන් නැවත නැවත බැලීමෙන් ඉගෙනීම සිත්හි ලා දැරීම කෙළේ නම් ඒ පුද්ගලයාට මිථ්‍යා දෘෂ්ටි මිථ්‍යා ප්‍රතිපත්තීන් කෙරෙහි නොරැවටීම, මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ දුර්වාද බිඳහෙලීම, කල්ප චක්‍රවාළ ලෝකධාතු ඇතිව නැතිවෙන ක්‍රමය දැනගැනීම, ඒ ඒ බීජජාති ඒ ඒ වෘක්ෂලතා ඇතිව නැතිවන ක්‍රමය දැනගැනීම, නානාප්‍රකාර ඍතු ලක්‍ෂණ ඍතු බලපරාක්‍රම දැනගැනීම, කුශලා-කුශල කර්ම විචිත්‍රත්වය දැන ගැනීම, සත්ත්වයාගේ චුති උප්පත්ති ලක්‍ෂණ දැනගැනීම, ඇස් කන් ආදී ආධ්‍යාත්මික දොර කවුළුවල රූප ශබ්දාදී අරමුණු ගැටීමෙන් විඤ්ඤාණසිත ඇතිව නැතිවෙන ක්‍රමය දැනගැනීම, ජීවිතය ඇති නැති ඒ ඒ ද්‍රව්‍ය පුඤ්ජයන්හි ධාතු ලක්‍ෂණ ධර්ම ලක්ෂණ දැනගැනීම, බුද්ධ ශාසනය කෙරෙහි අචල ශ්‍රද්ධාභක්තිය ඇතිවීම, මිනිසත්බව සඵල කර ගැනීම යනාදී ඵල ප්‍රයෝජන රාශිය නිරායාසයෙන් ලබාගත හැකි වේ. ඒ එසේමය! සුවාසූදහසක් යොදුන් ගැඹුරු මහාසමුද්‍රය මුතු මැණික් වෛඩූර්‍ය්‍ය ආදී අනේකවිධ රත්නයන්ට ආකර වූවාක් මෙන් මේ ග්‍රන්ථය ද සර්වඥශාසනයෙහි බුද්ධාගමිකාර ජනිජනයන් විසින් ඉගෙනිය යුතු අනේකවිධ ධර්ම රත්නයන්ට ආකරයක් වැනි වේ. එසේ ම දැන් මේ ලැබී තිබෙන මිනිසත් බැවින් සහ බුද්ධෝත්පාදයෙන් ගතයුතු ප්‍රයෝජනය ගැනීමට ප්‍රමාණ තරම් ධර්මකොට්ඨාසවලින් සරසා ලියන ලද්දක් බැවින් සියළු බෞද්ධ ජනිජනයන්ට අසහාය අද්විතීය සිතුමිණි රුවනක් හා සාමාන ද වේ.

මෙසේ මේ ග්‍රන්ථය අනේකවිධ ධර්ම ලක්‍ෂණ ධාතු ලක්‍ෂණ කාටත් තේරුම් ගතහැකි ලෙස නොයෙක් නිදසුන් දක්වමින් ලිහිල්කොට ලියන ලද්දක් බැවින් සර්වඥශාසනය නමැති මහා සමුද්‍රගත අනේකවිධ ධර්මරත්නයන් උකාගැන්මෙන් දහම් සිටුවරයන් වනු කැමති සකල සත්පුරුෂයන් විසින් ම මේ ග්‍රන්ථය නිතර පරිශීලනයෙන් ඉගෙන පිළිබඳ මාර්ගඵල අවසන්කොට ඇති අමාමහ නිවන් පිණිස උත්සාහ කළ යුතු.

මෙසේ කියන ලද අර්ථරාශිය සලකාගෙන තවද මෙකල ක්‍රිස්තියානි ආදී මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ සාමන්තක වීමංසිජ්ජා මාත්‍රයෙන් (තම තමන්ගේ කල්පනා මාත්‍රයෙන් විමසීම් මාත්‍රයෙන් කැමැතිව) ගන්නා ලද නොයෙක් දුර්වාද ඝනාන්ධකාරයෙන් අන්ධව සමහර අප බෞද්ධ සිංහලයෝ පවා නිර්වාණය කෙරෙහි සැක ඉපදවීම්, මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේලා විසින් තුන්වාරයක් ම සංඝායනාවට නංවන ලද ආගම ධර්මයෙහි පවා වෛතුල්‍ය මත තිබෙයයි සැක ඉපදවීම්, තුණුරුවන් කෙරේ සැක ඉපදවීම් ආදී නොයෙක් වේතණ්ඩික ධර්මයන්ට අසුවී නො මග ගමන් කරති. එහෙයින් ඔවුන්ගේ ඒ දුර්මත දුරලීමට ද අත්‍යන්තෝපකාරී “නියාමදීපනිය” නම් වූ මේ ග්‍රන්ථය මෙහි පහත නම සඳහන් වන මා විසින් නො මිලයේ බෙදාදීමෙන් ධර්මදානානිශංස ලබාගැනීම පිණිස මුද්‍රණය කරවන ලදී.

පොත් ලබාගනු කැමැත්තන් විසින් ශත 5 ක තැපැල් මුද්දරයක් සමග ඉල්ලුම් කරනු.

මීවගට - දෙවෙනි මරදානේ පදිංචි
අබේගොඩ ලියනගේ
දොන් විල්සන් සල්මන් අප්පුහාමි
කොළඹ තැපෑල.
1918