ධාතුමනසිකාර දීපනී.pdf

කතෘ :
සිරිධම්ම හිමි
ප්‍රකාශිත වර්ෂය :
1916
මුද්‍රිත වර්ෂය :
1916
පිටු ගණන :
104
බාගත කිරීම් ගණන :
1,734
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
109 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 53

බෞද්ධ ඥානාලෝකය හෙවත් ධාතුමනසිකාර දීපනිය යනු භදන්ත සිරිධම්ම හිමියන් විසින් සම්පාදිත භාවනා කමටහන් ග්‍රන්ථයකි. සත්කායදෘෂ්ටිය දුරුකර ගැනීම උදෙසා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ සහ විඤ්ඤාණ යන ධාතු පිළිබඳව මෙනෙහි කරන ආකාරය මෙහි පැහැදිලි කෙරේ.

සිරිධම්ම හිමියන් බුරුමයේ පැවිදි උපසම්පදාව ලබා ශබ්ද ශාස්ත්‍ර හා විනය ධර්මය හදාරා ලක්දිවට වැඩමවීමෙන් පසු, කොළඹ මාළිගාවත්තේ විසුද්ධාරාමයේ වැඩවසමින් කළ ධර්ම දේශනා ඇසුරින් මෙම ග්‍රන්ථය සම්පාදනය වී ඇත. ජේ. ඩී. ප්‍රනාන්දු සහ ඒ. ඒ. ගබෝ සිංඤෝ යන දායක මහතුන්ගේ ප්‍රකාශනයක් ලෙස 1916 දී (බු.ව. 2460) කොළඹ ග්‍රන්ථප්‍රකාශ මුද්‍රණාලයේදී මෙය මුද්‍රණය කරවා තිබේ.

සංඥාපනය.

“ධාතුමනසිකාරදීපනී” නම්වූ මෙම ග්‍රන්ථය අප බෞද්ධ මහා ජනතාවට මේ ලැබී තිබෙන බුද්ධශාසනයාගේ සාරාංශයවූ ධාතුව්‍යඤ්ජන නොහොත් “මමය මාගේ” යයි නොගතයුතු පස්ය, දියය, ගිනිය, සුළංය, ආකාශය, විඥානය යන ධාතුෂට්කය “මමය මාගේය”යි වරදවා දෘෂ්ටියෙහි ගැනිමෙන් අනවරග්‍ර සංසාරයෙහි පටන් අධ්‍යාත්මික සන්තානයෙහි නොකඩව පවත්වාගෙන එන්නාවූ සත්කායදෘෂ්ටි මූලක කෙලෙශාන්ධකාර සියල්ලක් විධ්වංසනය කිරීමෙන් ශරීරය පිළිබඳ ධාතුලක්ෂණ ධර්ම ලක්ෂණ දක්නාවූ ඥානාලෝකය උපදවාගතයුතු අයුරු දක්වා ලියනලද්දකි.

බුද්ධොත්පාදකාලය වනාහි සකල සත්පුරුෂයන්ටම සත්කායදෘෂ්ටි ආදි කෙලෙස් ගිනි නිවාගැනීමට සුදුසු කාලයයි. මනුෂ්‍යයන් විසින්ද මනුෂ්‍ය යස ඓශ්වර්‍ය්‍ය සම්පත් හැරදමා සත්කායදෘෂ්ටි ආදි කෙලෙස් ගිනි නිවාගනු පිණිස උත්සාහ කටයුතු කාලයනම් මේ බුද්ධොත්පාද කාලයමැයි. දෙවියන් විසින්ද දිව්‍ය යසඓශ්වර්‍ය්‍ය සම්පත් හැරදමා සත්කායදෘෂ්ටි ආදි කෙලෙස් ගිනි නිවාගනු පිණිස උත්සාහ කටයුතු කාලයනම් මේ බුද්ධොත්පාද කාලයමැයි. බ්‍රහ්මයන් විසින්ද බ්‍රහ්ම යසඓශ්වර්‍ය්‍ය සම්පත් හැරදමා සත්කායදෘෂ්ටි ආදි කෙලෙස් ගිනි නිවාගනු පිණිස උත්සාහ කටයුතු කාලය මේ බුද්ධොත්පාද කාලයමැයි.

මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යසඓශ්වර්‍ය්‍ය සම්පත් සංසාරකාන්තාරයෙහි සැරිසරායන සත්ත්‍වයන්ට නැවත නැවත ලැබීම ධර්මතාවකි. ඒ ලෞකික මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යසඓශ්වර්‍ය්‍ය සම්පත් වනාහි සත්කායදෘෂ්ටි ආදි කෙලෙශාග්නියට හිතවූ සත්කායදෘෂ්ටි ආදි කෙලෙශාග්නිය දියුණුකරන්නාවූ ජරා මරණ ගින්නෙන් දවා භස්මකරනු ලබන තෘෂ්ණාපරදැල් රැසකට බඳු නිසරු සම්පත් කොටසක්ය. මේ භවයෙහිම හමුවූ සම්පත් කොටසක්ද නොවේ. මේ ලැබීතිබෙන බුද්ධොත්පාද කාලයවනාහි අනවරග්‍ර සංසාරයෙහි පටන් අප බෞද්ධ මහා ජනතාවගේ සිත්සතුන්හි දැල්වී දැල්වී එන්නාවූ සත්කායදෘෂ්ටි නිරය ගිනි නිවාගැනීමට යෝග්‍යවූ කාලයවන්නේය. එහෙයින් පරම දුර්ලභවූ බුද්ධොත්පාදයෙන් යුක්තවූ අගනා කාලය මුළුල්ලෙහිම රූපශබ්දාදි වස්තු කාම නමැති තෘෂ්ණාපරදැල් දම දමා කාමතාපන ගින්නෙන් තැවී මෙත්ම නොහිඳ ශාසනමාමක ධර්මමාමකවූ සකල සාධුජනයන් විසින්ම මේ ධාතුමනසිකාරදීපනියෙහි ප්‍රකාශවන්නාවූ පඨවි ආදි ධාතුෂට්කය උද්ග්‍රහණ ධාරණයෙන් පුරුදු පුහුණුකොට භාවනානුයෝගීවීමෙන් ස්වකීය සන්තානානුගත සත්කායදෘෂ්ටි ආදි කෙලෙස් ගිනි නිවා පරම රමණීය අමෘත මහානිර්‍වාණ අභයපුරයට පැමිණීම පිණිස උත්සාහ කටයුතු.

ආචාර්‍ය්‍ය සිරිධම්ම ස්වාමිපාදයන්වහන්සේ

මුන්වහන්සේ පිළිබඳ කරුණු ස්වල්පයක් පහළ කිරීම කාලානුරූපයයි හැඟීගිය හෙයින් උන්වහන්සේගේ ශාසනික සොහොයුරකු මෙන්වන බදුල්ලේ ගෞරවනීය “ඤාණවිලාසාභි” ස්වාමිපාදයන් වහන්සේගේ සහායත්වයෙන් බුරුමරටින් එවූ ලියුම් කියුම් හා දැනගත් කරුණු අනුසාරයෙන් සඞ්ග්‍රහකරවා ගන්නාලද මෙම ළපඬු චරිතාන්තරය මෙහි සඳහන් කරන්නේමු.

මුන්වහන්සේ සෙංකඩගල නගරයට ආසන්න පාතදුම්බර අරංගල නම් ග්‍රාමය ජන්ම භූමිකොට ඇත්තේය. බාලවියෙහි පැවිදිකරවනු කැමැතිවූ පියතුමන් වන “දෙන්ඩොබ අප්පුහාමි” වෙද මහතාණන් විසින් තමන් කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කරනු ලැබූ මාතලේ කුඹියන්ගොඩ විපස්සනාරාමාධිපතිව වැඩවිසූ සුපෙසල ශික්ෂාකාමී නාරංපනාවේ “ගුණජොත්‍යාභාස” මහා ස්ථවිරපාදයන් වහන්සේ වෙත බාර දෙන ලදින් ප්‍රව්‍රජ්‍යාභූමියට පමුණුවා හෙරණ බණදහම් පුරුදු පුහුණු කොට හික්මවා වදාළේය.

නැවත එයින් නික්ම එවකට ගාල්ලේ විජයානන්ද පරිවෙණාධිපතිව වැඩවිසූ සත්කීර්තිමත් ගෞරවාර්හ පස්යාලේ “ශ්‍රී සුමනතිස්ස” ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේ වෙත එළඹ උන්වහන්සේ උපාධ්‍යාය කොට ගනිමින් වාගීශ්වර පඬිතුමන්ගේ හා ඤාණුන්නංස උප ගුරුතුමන්ගේද ආධාරයෙන් ශබ්ද ශාස්ත්‍රය සහිත බණදහම් ඉගෙනීමෙහි නොපසුබස්නා වීර්‍ය්‍යයෙන් යෙදී අභ්‍යාසන විභාගයකින්ද සමත්ථභාවයට පැමිණ උගන්වමින් එන අතර ආචාර්යොත්තම වූ යථෝක්ත ශ්‍රී සුමනතිස්ස ස්ථවිරයන් වහන්සේට වැලඳි රෝගාබාධය ගැන ව්‍යාපාරවෙන්ට සිදුවීය.

ඉක්පසු උන්වහන්සේගේ රෝගය අසාධ්‍ය බවට පැමිණ ස්වර්‍ගස්ථ වදාළබැවින් බාලකල පටන්ම අභිමතාර්ථ සංසිද්ධිකරණයෙහි නුවණ හා නොපසුබස්නා වීර්‍ය්‍ය ආදි ගුණ ඇතිවූයෙන් ධර්මවිනයොද්ග්‍රහණාභිලාෂීව බුරුම රටට යාම පිණිස අදහස් උපදවා තම වැඩිමහල් සොහොයුරු තුමන්ගේ ආධාර ඇතිව ශ්‍රී බුද්ධ වර්‍ෂ 2439 ක්වූ වපමස පුරදියවක්නම් තිථියලත් සඳුදින ලක්දිවින් පිටත්ව බුරුමරාජ්‍යයට පැමිණ “රැන්ගුන්” නුවර “මහා ධම්මදීපිකාරාම”යෙහි වැඩ වදාරණ “සාසනාලඞ්කාර සද්ධම්මාභිවංස සිරිපවර කවිධජ මහා ධම්මරාජාධිරාජගුරු” මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධ්‍යාය කොට ගෙන දෙසියනමක් පමණ කාරක මහා සංඝයා මධ්‍යයෙහි මහණ උපසම්පදාලැබ උන්වහන්සේම කලක් ඇසුරු කරමින් උපසපන්වූ භික්ෂූන් විසින් අත්‍යවශ්‍යෙන්ම ප්‍රගුණ කටයුතු “භික්ඛු භික්ඛුනී උභය ප්‍රාතිමොක්‍ෂ කුදුසික මුලුසික” යන විනය පොත් සතර ප්‍රගුණ කොටගෙන නැවත “මණ්ඩලේ” නුවර මහා විසුද්ධාරාමාධිපති “විසුද්ධාරාම කවිධජාධිපති සිරිපවර මහා ධම්මරාජාධිරාජගුරු” ශ්‍රෙෂ්ඨවංශිය සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදි අග්‍රමහාධීර්‍ය්‍ය සුපෙසල ශික්ෂාකාමී මහොත්තමයන් වහන්සේලාගේ සමීපයෙහි ශබ්ද ශාස්ත්‍රය සහිත පර්‍ය්‍යාප්ති ධර්මය පුරුදු පුහුණුකොට අක්‍ෂර විසන්ධිශාස්ත්‍රයන් පිළිබඳව පවත් වනුලබන පාඩම් විභාගයන්ට බැඳී තුන්වෙනිවර දක්වා සමත්කම් ලබා රජහසුන හා පුදපඩුරු ලැබීමෙන් සම්භාවනීය බවට පැමිණ එරටදීම සියගණන් භික්ෂුසාමණේරයන් වහන්සේලාගේ ධර්මාචාර්යවරයෙක්ව උගන්වමින් සිටිනාතර රත්නපුරේ ජයසුන්දරාරාමාධිපති දෙවගොඩ “දෙවානන්ද” ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේගේ හා ඒ ප්‍රදේශයෙහි රදළ මහතුන් ඇතුළු සැදැහැවතුන්ගේ ආරාධනාලැබ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට සැලකොට අවසර හා සංඥාද ලබාගෙන ශ්‍රී බුද්ධ වර්‍ෂ 2455 ක්වූ උඳුවප්මස පුරසතවක්නම් තිථියලත් ගුරුදින අන්තෙවාසික ශිෂ්‍යපිරිසක්ද කැටිව ලක්දිවට පැමිණ ගාල්ලේ විජයානන්ද පිරුවෙන්හි දායක මහතුන්ගේ අයදුමෙන් එහි වැඩමවා ටිකදිනක් පසුව රත්නපුරයට පැමිණ අවුරුද්දක් පමණ ශාසනසංග්‍රහයකොට සිත්වූ පරිදි ශිෂ්‍ය පිරිසක් ලබාගැනීමේ දුෂ්කරතාව ගැන මෙනෙහි කරමින් සිටිනාතර බුරුමරටින් ස්ථවිරයන් වහන්සේලා කීපනමක් ඇතුළු ගිහි පිරිසක් දඹදිව වන්දනාව පිණිස වැඩමවනබව දැනුම්දී එවූ බැවින් ඒ සඳහා කොළඹට වැඩමවන්ට සිදුවිය. ඒ අතර කොළඹ නගරයෙහි වාසයකරන අප ටිකදෙනෙකු විසින් ආවාස උපස්ථාන සලස්වා ආරාධනා කරනලදින් නමන්වහන්සේගේ උත්තමාභිප්‍රායය සඵලවීමට සුදුසු ආරම්භකණ්ඩබව සලකා රත්නපුරේ දායක මහතුන් වෙත ලියා යවා වැඩි සතුටක් නොලත් නමුත් සිත්වූ පරිදි ශාසනසංග්‍රහයක් කිරීමේ අදහස නිසා එම ආරාධනාව පිළිගත්කල්හි ‘විසුද්ධාරාම’ යන නමින් තාවකාලික ආවාසයක් තනවාදී උපස්ථානභාග්‍යයෙන් මේ දක්වා පස්අවුරුද්දක් පමණ තමන්වහන්සේ වෙත පැමිණෙන ගිහි පැවිදි සමූහයාට බුද්ධ වචනය හා ශබ්ද ශාස්ත්‍රය ඉගැන්වීමෙන්ද සෑම ඉරිදා දිනවල හා පොහෝ දිනවල ධර්ම ශ්‍රවණාභිලාෂීව පැමිණෙන ජනසමූහයාට ධර්ම දේශනා කිරීමෙන්ද නොයෙක් දිශාභාගවලින් පැමිණෙන ආරාධනා පිළිගෙන ඒ ඒ පලාත්වලට වැඩමවා ධර්මදේශනා කිරීමෙන්ද, සරණගමන විනිශ්චය, ධාතුකම්මට්ඨාන සංග්‍රහව, උම්මජ්ජනී කායභාවනා දීපනිය, ආදි පුස්තක පණ්ඩිතයන් ලිහිල් භාෂාවෙන් ලියා විසුරුවා හැරීමෙන්ද ශාසනාභිවෘද්ධිවර්ධනයට හේතු ක්‍රියාවන්හි ව්‍යාපාරනානව වැඩවදාරණ සේක.

මේ “ධාතුමනසිකාර දීපණිය” යථොක්ත සිරිධම්ම ස්වාමිපාදයන් වහන්සේ විසින් ඉරිදා දිනවල දේශනා කරනලද ධාතු දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් ප්‍රසන්නවූ අප විසින් අවශෙෂ අප බෞද්ධ ජනතාවටද එයින් ප්‍රයෝජන ලැබෙවායි සලකා යාඥාකොට උන්වහන්සේ ලවා ඒ දේශනාවන් එකතුකොට සංග්‍රහකරවා ගන්නාලද්දකි.

මෙහිසට,

ජේ. ඩී. ප්‍රනාන්දු
සහ
ඒ. ඒ. ගබෝසිංඤෝ
යන අපි දෙදෙනා වම්හ.

10. 8. 1916. දිනදීය.