ධර්මපද ප්රදීපය - වම්බටුවැවේ ධර්මකීර්ති හිමි.pdf
- කතෘ :
- වම්බටුවැවේ ධම්මකීර්ති හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1962
- මුද්රිත වර්ෂය :
- 1962
- පිටු ගණන :
- 365
- බාගත කිරීම් ගණන :
- 1,951
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-01-25
- ගොනුවේ ප්රමාණය :
- 18 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ධම්මපද ප්රදීපය යනු ඛුද්දක නිකායට අයත් ධම්මපද පාලියෙහි අන්තර්ගත ගාථාවන් සහ ඒවායේ නිදාන කථා සරල සිංහලෙන් පැහැදිලි කරමින් සම්පාදිත ග්රන්ථයකි. මෙය හොරොම්බාවෙ ශ්රී නාගාරාමය සහ තක්කාවත්තේ ශ්රී සුදර්ශනාරාමය යන විහාරද්වයාධිපති, වීරහේනේ විද්යාරත්න පරිවෙණාධිපති ත්රිපිටකාචාර්ය වම්බටුවැවේ ධම්කීර්ති ශ්රී ශ්රීනිවාස ප්රධාන සද්ධර්මනායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද්දකි.
මෙහි ධම්මපදයේ එන එක් එක් ගාථාව, එහි නිදානය, පදගතාර්ථය සහ ධර්ම විවරණය අඩංගු වන අතර, ගාථා අනුක්රමණිකාවක් මෙන්ම විස්තර කරන ලද ධර්ම කරුණු ඇතුළත් සවිස්තර පටුනක් ද යොදා තිබේ. සාමාන්ය බෞද්ධ ජනතාවට මෙන්ම ධර්ම ශාලීය ශිෂ්යයන්ට සහ ආධුනිකයන්ට ධර්මාවබෝධය පහසු කරලීම මෙහි ප්රධාන අරමුණයි.
මෙම දෙවන සංස්කරණය සඳහා විද්යාලංකාර විශ්වවිද්යාලයේ භාෂා පීඨාධිපති මහාචාර්ය කොටහේනේ ප්රඥාකීර්ති ස්ථවිරයන් වහන්සේ විසින් සාරගර්භ ප්රස්තාවනාවක් සපයා ඇති අතර, ගුණසේන සමාගමේ අනුග්රහයෙන් 1962 වර්ෂයේදී ප්රකාශයට පත් කර ඇත.
සංඥාපනය
ධර්මය නම් නවලොවුතුරු දහමය. එනම්: මග පල නිවන්ය. බුදුන් වහන්සේ මේ නව ලොවුතුරු දහම පසක් කොට වදාළේ අරි අටඟිමගේ—මැදුම් පිළිවෙතේ ගමන් කිරීමෙනි. අරිඅටඟි මග තමයි නව ලොවුතුරු දහම ලබන ප්රතිපත්ති ක්රමය. මේ දහම අවබෝධ කළ තැනැත්තා ජාති, ජරා, මරණාදි සාංසාරික දුකට නො පැමිණෙයි. එහෙයින් ම අපායාදි දුකකට පැමිණීමෙක් ද ඔහුගේ නැත. සාංසාරික ආපායික දුකකට වැටෙන්ට නොදී රකින නිසා නිෂ්පර්ය්යාය වශයෙන් මග, පල, නිවන් දහම් නමි. පර්යාය වශයෙන් මැදුම් පිළිවෙත විග්රහ කළ ප්රතිපත්තියටත් දහම් (=ධර්ම) යයි කියනු ලැබේ.
බුද්ධ දේශිත ශ්රී සද්ධර්මය කොටස් වශයෙන් තුනෙකි. සූත්ර පිටක, අභිධර්ම පිටක, විනය පිටක වශයෙනි. ඉන් සූත්ර පිටකය, සම්මුති දේශනාවට ඇතුළත් ය. එහෙයින් පොදු ය. අනික් පිටක දෙකට වඩා විශාල ය. එය කොටස් පසකින් යුක්ත ය. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය වශයෙනි. මේ නිකාය පසෙන් ඛුද්දක නිකාය විශාලතර ය. එය කොටස් පසළොසකින් යුක්ත වේ. ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්ත නිපාත, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා, ජාතක, නිද්දෙස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංස, චරියා පිටක, වශයෙනි.
මෙය බුදුරදුන් විසින් ඒ ඒ අවස්ථාවන්හිදී ඒ ඒ කරුණක් නිමිති කොට දේශනාකර වදාරන ලද්දකි. එහෙයින් මෙය අර්ථත්පත්ති දේශනාවකි. ධර්ම සංග්රාහකයන් වහන්සේලා විසින් ප්රථම සංගීතියෙහිදී ඒ දහම්පද එක්කොට මෙය ඛුද්දක නිකායට ඇතුළත් කොට තබන ලදී. ඛුද්දක නිකායයේ දෙවෙනි ග්රන්ථය ධම්මපදයයි. එය සම්පූර්ණයෙන් ම ගාථාවලින් යුක්ත ය. නවාංග ශාස්තෘශාසනයෙන් ගාථාංගයට ගැනේ. බෞද්ධ සාහිත්යයේ විශේෂ සැලකිල්ලකට යොමුවූවකි. මේ තරම් අර්ථ රසයෙන් හා ධර්මමාධුර්ය්යයෙන් යුක්තවූත්, පරිශීලනය කරන්නා තුළ උතුම් ගති ගුණ ඇතිකරලීමට හේතුවූත් එකම බණ පොත මේ ධම්මපදය බව විවාද රහිතව පිළිගත හැකි ය. මෙය මුළු තුන් පිටකයේ ම සාරයෙකැයි ද කිව හැකි ය. බුද්ධදේශනාවට අයත් සියලු ප්රධාන දහම් කොටස් මෙහි ඇතුළත් හෙයිනි. ධම්ම පදය දනිතොත් වෙන කිසි බණක් උවමනා නැතැයි කියන්නේත් ඒ නිසා ය. මෙය ග්රන්ථාරූඪ වන තුරු ම භාවිත කරන ලද්දේ මුඛ පරම්පරා වශයෙනි.
ලක්දිව වළගම්බා රජු දවස ත්රිපිටකය පොත්වල ලියවීමෙන් පසු මෙය සියලු බෞද්ධයන්ගේ අත් පොතක් වශයෙන් භාවිත විය. ධම්මපදය පොතක් වශයෙන් පිළියෙළ වූවාට පසු එහි ප්රයෝජනය හා අගය ද වැඩිවන්නට විය. සියලු ධර්මදේශකයන් වහන්සේලාට හස්තසාර වස්තුවක් මෙන් පැවතිණි. භික්ෂූන් වහන්සේට පමණක් නොව, ගිහියන්ට ද මේ තරම් පහසුවෙන් දැනගත හැකි වූ ලිහිල් බණ පොතක් නැත. මෙය නිතර භාවිත කිරීමෙන් ධර්මය ගැන හොඳ වැටහීමක් ඇති ශ්රද්ධා බුද්ධි සම්පන්න උසස් ගුණැති පුද්ගලයෙක් ද විය හැකි ය.
ධම්මපදයේ සංගෘහිත ගාථා 423 කි. ඒ බව මෙහි නිගමන ගාථාවල “ගාථා සතානි චත්තාරි තෙ වීස ච පුනා පරෙ” යන්නෙන් පෙනේ. එහෙත් පස්වැනි කාශ්යප (ක්රි: ව: 913) රජුගේ දම්පියා අටුවා ගැටපදයේ ගාථා 422 ක් වූයේ කෙසේද යනු විමසිය යුත්තකි. සමහරවිට මෙහි එන පාද සයේ ගාථාවල පේළි හුවමාරුවීමෙන් මෙසේ විණැයි සිතිය හැකි ය. සියම, බුරුම, ඉංග්රීසි පොත් අනුව ද ගැනෙන්නේ ගාථා 422 ම ය. ඒ ඒ වර්ගවලට අයත් ගාථා සංඛ්යා එකතු කිරීමෙන් ලැබෙන්නේ මේ දෙකට ම වෙනස් සංඛ්යාවකි. එබැවින් ගාථා සංඛ්යාව තව දුරටත් විමසිය යුතු ය. මේ ගාථාවන්ට අයත් අර්ථත් පත්ති V කාශ්යප රාජයන් කියන ලෙස 300 කි. එහෙත් එය පරීක්ෂා කිරීමේදී 305 ක් වී තිබෙන බව පෙනේ. බුරුමධම්මපද නිගමනවල පෙනෙන්නේත් මෙහි කථා 305 ක් තිබෙන බවය. “පඤ්චාධිකානි තීණි වත්ථුසතානි”යි එහි කියන ලදි.
එහෙත් ලංකාවේ ධම්මපදට්ඨකථා නිගමනයේ සඳහන්වන්නේ කථා 304 කි. අපේ ධර්මපද ප්රදීපයේ ද එම ගණන ම එයි. “එකුනා නි තීණිවත්ථු සතානි”යි ලංකාවේ පොතේ කියන ලදි. ධම්මපදය වර්ග 26 කින් යුක්ත ය.
බුදුන් වහන්සේ විසින් දෙසු සෑම ධර්මයක් ම එකසේ ම අර්ථ රසයෙන් විමුක්ති රසයෙන් යුක්ත ය. ත්රිවිධ කල්යාණයෙන් සමන්විත ය. එහෙත් ධර්මපදය තරම් විශ්වකීර්තියට පත් බෞද්ධසාහිත්යාම්බරයේ බබළන අන්ය ග්රන්ථයක් ත්රිපිටකයෙන් සොයා ගත නො හැකි ය. වැඩි ගණනක් ම ලෝක භාෂාවන්ට පෙරළු ත්රිපිටක ග්රන්ථය ද මෙය ම ය. හින්දුලෝකයට භගවත් ගීතාව යම් සේ ද, බෞද්ධලෝකයට ධම්මපදය ද එසේ ම ය. ධම්මපද ලෝකයේ සාම්රාජ්යයට පත්ව ඇත්තේ බුද්ධඝොෂ මාහිමියන්කළ ධම්මපදට්ඨ කථාවය. V කාශ්යප රජ (ක්රි: ව: 913) එහි ගැටළු තැන් විසඳීම් වශයෙන් කළ ව්යාඛ්යාව භාෂා ප්රේමියාත් සාහිත්ය ප්රේමියාත් එක සේ පිනවන ග්රන්ථයකි. සාහිත්ය ධර්මසේන හිමියන් කළ සද්ධර්මරත්නාවලිය වැනි පොදු ජනෝපයෝගී ග්රන්ථයක් සිංහල සාහිත්යයේ ඉතා විරල ය. අඥාත කර්තෘවරයකු විසින් රචිත පුරාණ ධම්මපද සන්නය ධර්මපදාර්ථයන් තේරුම් ගැන්මට ඉවහල් වන අතර පුරාතන සන්න සාහිත්ය සම්ප්රදාය කල එළි දක්වයි. වර්තමාන ලාංකේය ධර්මධරයන් අතින් ලියැවුණු පරිවාර ග්රන්ථයන්ගේ සංඛ්යාව ද විශාල ය. ඒ කොපමණ පරිවාර ග්රන්ථ ඇතත් ධම්මපද පාඨකයන්ගේ ආවශ්යකතා එක එල්ලේ පිරිමසා ලිය හැකි පරිවාර ග්රන්ථ ධම්මපදයට කොපමණවත් අවශ්ය බව කියයුතු නො වේ.
කරුණු මෙසේ බැවින් අපවිසින් සාමාන්ය බෞද්ධ ජනතාවගේ දැනගැනීමට පහසුවන අයුරින් සරල බසින් සම්පාදනය කළ ධර්මපදප්රදීපය නම් ග්රන්ථය නොබෝ කලකින්ම අවසන් වූයෙන් ද්විතීය සංස්කරණයකට අවස්ථාව සැලසිණ. මේ දෙවන සංස්කරණයේදී ද සමහර ගාථාවල දහම් පදයන්ගේ ගැටළු තැන් පැහැදිලි කර යොදන්ට ලැබීම සතුටකි. එපමණක් ද නොවෙයි, පොතෙහි මුලදී ගාථා පිළිබඳ පමණක් අනුක්රමණිකාවක් යොදා තිබුණ නමුත් මේවර විස්තරකළ දහම්පද පිළිබඳ පටුනක් ද යොදා මේ දෙවන සංස්කරණය ශෝභන ලෙස සකස්කළ හැකිවීම පාඨකයන්ගේ ප්රීතියට කාරණයක් වනු බව ද සිතියහැකිය. මෙහිදී නිදාන කථා සංක්ෂේප කරන ලද්දේ පොත විශාලවන බැවිනි. නිදාන කථා විස්තර ලෙස දැනගනු කැමැතියන් විසින් ධම්මපදට්ඨ කථාව හෝ රත්නාවලිය බැලිය යුතු ය.
මෙහි සාමාන්ය බෞද්ධ මහජනයාට මෙන් ආධුනික ජනතාවට ද එකසේ ප්රයෝජන ලැබෙන පරිද්දෙන් දහම් විස්තර සකස්වී ඇත. ධර්මපාඨශාලීය ශිෂ්යයන්ට ද මෙයින් විශාල ධර්මාවබෝධයක් ලබාගත හැකි ය. මෙය අර්ථය සලකමින් නිතර කියවන තැනැත්තා කල් යාමකින් ධර්මය පිළිබඳ හොඳ දැනීමක් ඇත්තකු වෙනවාට සැකයක් නැත්තේ ය.
මෙහි ඇතුළත් සාරගර්භ වූ ප්රස්තාවනාව සැපයූ විද්යාලංකාර විශ්ව විද්යාලයේ භාෂා පීඨාධිපති සිංහල මහාචාර්ය්ය කොටහේනේ ප්රඥාකීර්ති ස්ථවිරයන් වහන්සේට අපගේ කෘතඥතාව පළකළ යුතු ය. මේ දෙවන සංස්කරණය පළකැරැ වීමෙහි ගුණසේන සමාගමයෙහි අධ්යක්ෂ ඇම්. ඩී. සිරිසේන මහතාණන් දැක් වූ උනන්දුව අපගේ බලවත් සතුටට හේතු වූ බව මෙහිලා ස්තූති පෙරටුව සඳහන් කරම්හ.
අපගේ මේ සත් කෘත්යය සියලු බෞද්ධ ජනතාවගේ ධර්මාවබෝධ පිණිස හා අපගේ ශාන්තිය පිණිසත් වේවායි මෙත් සිතින් ප්රාර්ථනා කරම්හ.
මීට,
ශාසනප්රීතිකාමී
වම්බටුවැවේ ශ්රීනිවාස නායකස්ථවිර
ශ්රී: බු: ව: 2504 නවම මස අමාවක්ද ව්යවහාර වර්ෂ 1962 මාර්තු මස 5 වැනිද නාත්තණ්ඩියේ වීරහේනේ විද්යාරත්න පිරිවෙන්දීය.
ප්රස්තාවනාව
භාග්යවතුන් වහන්සේ වදාළ ශ්රී සද්ධර්මය ත්රිපිටකය නමින් ප්රකට ය. ඒ ත්රිපිටකයෙහි වොහාර දෙසනා, පරමත්ථදෙසනා, ආණාදෙසනා යයි කොටස් තුනක් ඇතුළත් වේ. සම්මුතියෙහි—ව්යවහාරයෙහි—පවත්නා සංඥා ප්රඥප්ති සාමාන්යලොකයාට ඉතා හුරු ය; පුරුදු ය. ඔවුන්ට ලොකතත්ත්වය හරි හැටි අවබෝධ කර ගැන්මට ද අපහසුව ව්යවහාරය කෙරෙහි ඔවුන් තුළ පවත්නා මේ හුරුපුරුද්ද ය.
“පටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං රාගරත්තා න දක්ඛින්ති තමොක්ඛන්ධෙන ආවුතා”
යයි බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධ ධර්මය සියුම් ගැඹුරු දහමක් නිසා ය. ලොකව්යවහාරය ගරු කිරීමට පුරුදු වූ ලොකයාට නිවන් මඟට පමුණුවන නිපුණ වූ ගැඹුරු වූ වටහා ගැනීමට අපහසු වූ සියුම් වූ ධර්මය අවබෝධ නො වන්නේ ඔවුන් රාගයෙන් රත්ව මොහඳුරෙන් වෙළී සිටින හෙයිනි. ඔවුන්ට වැටහෙන ඔවුන්ට හුරු පුරුදු බසිනුදු තථාගතයන් වහන්සේ දම් දෙසූ සේක. ඒ ය ව්යවහාරදේශනා වශයෙන් පළව වන්නේ. ත්රිපිටකයෙහි සූත්ර දේශනා එබඳු ය. එහි ඇත්තේ ස්ත්රී පුරුෂ වෘක්ෂලතාදි වශයෙන් ලොක ප්රඥප්තියට හුරු ව පළකළ කරුණු ය. එසේ ද වුවත් සර්වඥයන් වහන්සේ චතුරාර්ය්ය සත්යය, ආර්ය්යඅෂ්ටාඞ්ගික මාර්ගය, ත්රිවිධ ශික්ෂා, සප්ත බොධ්යංග, සතර සතිපට්ඨානාදි ගැඹුරු ධර්මාර්ථ සූත්රපිටකයට අයත් හැම දෙශනාවක ම මූලාශ්රය ලෙස යොදා වදාළ සේක. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්රියාදි වශයෙන් පටිච්ච සමුප්පාදය - හෙතුඵලක්රමය -- මූලාධාර කොට දෙශනා කර වදාළ ධර්මය අභිධර්ම නමින් ප්රකට ය. ඒ ය බුද්ධධර්මයෙහි සාරය. විසෙන් විස නසන කලක් පරිද්දෙන් ලොකව්යවහාරයන් මගින් ම ලොකොත්තර ගම්භීර ධර්මාර්ථ දෙශනා කර වදාළ ලොකනාථයන් වහන්සේගේ සර්වඥත්වයක් ලොකයේ යථා තත්වයත් දර්ශනයේ පරමාර්ථයත් බුද්ධධර්මයෙහි සාර්වභෞමත්වයත් පැහැදිලි වන්නේ පරමාර්ථ දෙශනා නමින් පතළ අභිධර්ම දෙශනාවෙන් ම ය. විනය පිටකයෙහි ඇතුළත් වන්නේ සිල්වත් ව සිත එකඟ කරගෙන ලොකොත්තර ගුණදහම් වඩන්නට උත්සාහවත් වූ භික්ෂූන් වහන්සේලාගේ කායික වාචසික සමාචාර පිළිබඳ නීතිරීති සමූහයකි. ඒ මේ විනය ශික්ෂා ආඥා දෙශනා නමින් පතළ ය. ගුණවත් නො වී ප්රඥාව ලබා ගත නො හැකි ය. යනු බුද්ධ දෙශනා යි:- “පඤ්ඤාය පරිසුජ්ඣති.”
ප්රඥාව ලබා ගත හැක්කේ සිත එකඟ වූ කලට ය. සිත එකඟ වන්නේ සිල්වත් වූ කලට ය. කය වචන සංවර වන්නේ විනය ශික්ෂාවෙන් - හික්මීමෙන් ය. සිත තැන්පත් වීමට සූත්රාන්තයෙහි දෙශනා කළ සමථභාවනා උපකාර වේ. සිත සම්පූර්ණව එකඟ වන්නේ ප්රඥාව වැඩි දියුණු වන කලට ය. අභිධර්ම කථා එහිලා මහෝපකාරී වේ. මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් දෙශනා කර වදාළ විනය සූත්ර අභිධර්ම යන පිටක තුන අතර පවත්නා සම්බන්ධය ඉමහත් ය.
සූත්ර පිටකයෙහි ඛුද්දකනිකායට අයත් ග්රන්ථ පසළොසකි: එනම් ඛුද්දකපාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා, ජාතක, නිද්දෙස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංස, චරියාපිටක වශයෙනි.
ධම්මපදය කුඩා පොතකි. ගැඹුරු සරලධර්ම කොටස් එහි සංග්රහ වේ. ධම්මපදයෙහි සූත්රාන්තධර්ම ඇතුළත් වීම ගැන කිවමනා නො වේ. එහි අභිධර්මදේශනා ද ඇතුළත්වී තිබෙන බව,
“මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා” —I, 1 ගාථාව.
“යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති එවම්පි තණ්හානුසයෙ අනූහතෙ නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං” XXIV, 5
යනාදි ධර්මාර්ථයන්ගෙන් පැහැදිලි වේ. ධම්මපදයෙහි විනයශික්ෂා මාර්ගය ද ඇතුළත් වේ.
න පරෙසං විලොමානි න පරෙසං කතාකතං අත්තනොව අවෙක්ඛෙය්ය කතානි අකතානි ච IV, 7 ගා.
අනූපවාදො අනූපඝාතො පාතිමොක්ඛෙ ච සංවරො මත්තඤ්ඤුතා ච භත්තස්මිං පන්තඤ්ච සයනාසනං අධිචිත්තෙ ච ආයොගො එතං බුද්ධානසාසනං XIV, 7.
මෙසේ මුළු ත්රිපිටකයෙහි ම අර්ථසාරය හකුළුවා දෙශනා කර තිබෙන මේ මහඟු ධර්මපුස්තකය ගිහිපැවිදි ස්ත්රීපුරුෂ උගත් නූගත්