දැනුම සහ දැකීම - පාඖක් ශයාඩෝ හිමි.pdf

කතෘ :
පා-අවුක් සෙයඩෝ හිමි
පිටු ගණන :
247
බාගත කිරීම් ගණන :
2,974
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
67 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 124

දැනුම සහ දැකීම යනු මියන්මාරයේ අතිපූජනීය පා-අවුක් සෙයඩෝ (Pa-Auk Sayadaw) ස්වාමීන් වහන්සේ විසින් තායිවානයේ යීචුං විහාරස්ථානයේදී පැවැත්වූ ධර්ම දේශනා සහ භාවනා ප්‍රශ්නෝත්තර සාකච්ඡා ඇසුරින් සම්පාදිත ප්‍රකට භාවනා උපදෙස් ග්‍රන්ථයේ (Knowing and Seeing) සිංහල පරිවර්තනයයි. මෙය සිංහල බසට පරිවර්තනය කර ඇත්තේ විශ්‍රාමික ආචාරිනී සිල්වියා ගුණතිලක මහත්මිය විසිනි.

විශුද්ධි මාර්ගය හා ත්‍රිපිටක පාළි සූත්‍රාගත දේශනාවන්ට අනුකූලව සමථ හා විපස්සනා භාවනා ක්‍රමවේදය අනුපිළිවෙළින් ප්‍රගුණ කරන ආකාරය මෙහි සවිස්තරව විග්‍රහ කෙරේ. ආනාපානසතිය ප්‍රගුණ කිරීමෙන් ධ්‍යාන උපදවා ගැනීම, සතර ආරක්‍ෂක භාවනා, නාමරූප පරිච්ඡේදය, පටිච්චසමුප්පාදය විනිවිද දැකීම සහ විදර්ශනා ඥාන වඩා නිවන් අවබෝධ කර ගැනීම දක්වා වූ ගැඹුරු භාවනා අත්දැකීම් මෙම දේශනාවලට පාදක වී ඇත.

ග්‍රන්ථයෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා අතර:

  • ආනාපාන සතිය ධ්‍යාන සමාපත්ති දක්වා වැඩීම සහ ප්‍රශ්නෝත්තර
  • වෙනත් කර්මස්ථාන වලින් ධ්‍යාන ලැබීම
  • බ්‍රහ්ම විහාර සහ චතුරාරක්ෂක භාවනා වඩනා ක්‍රමය
  • රූප ධර්ම සහ නාම ධර්ම බෙදා බැලීම
  • පටිච්ච සමුප්පාදයේ සම්බන්ධය දකින ක්‍රමය
  • නිවන් දැකීමට විපස්සනා ඤාණ වඩන ක්‍රමය
  • වෙසක් දින දේශනය සහ ශ්‍රේෂ්ඨතම පූජාව (පුණ්‍යානුමෝදනා දේශනය)

පොතේ මුද්‍රණ කටයුතු ග්ලෝබල් ග්‍රැෆික්ස් සහ ප්‍රින්ටින් ආයතනය මගින් සිදු කර ඇති අතර, නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ තායිවාන ජාතික හෝං ෂිං භික්ෂුණියගේ පෙරවදන් වලින් ග්‍රන්ථය සමන්විත වේ.

පෙරවදන

සුතමය ඤාණය - චින්තාමය ඤාණය - භාවනාමය ඤාණය නමින් දැනුම සහ දැකීම නම් වූ ප්‍රඥාව තුන් වැදෑරුම් වෙයි. බුදු ගුණ අසා- ධරා ලබාගත් දැනුම සුතමය ඤාණයයි. මහෝෂධ පණ්ඩිතයන් වහන්සේ මෙන් අනුන්ගෙන් නොඅසා තමන්ගේම භාවිත චින්තනයෙන් ලබන දැනුම චින්තාමය ඤාණයයි. සුතමය - චින්තාමය ඤාණශක්තියද පදනම් කොට සමථ - විදර්ශනා භාවනාවෙන් ලබන ලෞකිකවුද ලෝකොත්තර වූද අවබෝධය භාවනාමය ඤාණයයි. භාවනාමය ඤාණය ප්‍රථිවේධ ශාසනයයි.

බුරුම රට මෝලමියන් නුවරටත් මුඩෝන් නුවරටත් අතර මැද පිහිටා තිබෙන පා - අවුක් - චින්තලපබ්බත භාවනා මධ්‍යස්ථානාධිපති අතිගරු පූජනීය පා අවුක් සෙයාඩෝ නමින් සුප්‍රසිද්ධ ආචින්නා සෙයාඩෝ අග්ගමහා කම්මට්ඨානාචාර්ය මාහිමියන් වහන්සේ ඉහත සඳහන් තුන් වැදෑරුම් ඤාණයෙන්ම පරිපූර්ණ කල්‍යාණමිත්‍රයන් වහන්සේ නමකි.

එම කල්‍යාණමිත්‍ර කර්මස්ථානාචාර්යයන් වහන්සේ විසින් භාවනානුයෝගීන්ට බුරුම බසින් දේශනා කරන ලද විශේෂ ධර්ම දේශනාවන් සහ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන්ද ඉංග්‍රීසි බසින් මුද්‍රණය වී ඇති අතර ශ්‍රී ලංකාවේ භාවනාලාභීන් උදෙසා සිංහල බසට මෙසේ පරිවර්තනය කරන ලද්දේ අපේ ආරාධනය ගෞරවයෙන් පිළිගත් කොළඹ කාන්තා විදුහලේ විශ්‍රාමික ගුරු තුමියක් වන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සිල්වියා ගුණතිලක මහත්මියන් විසිනි.

ඉහත සඳහන් පා අවුක් සෙයාඩෝ මාහිමියන්ගේම ආනාපාන සති සහ ධාතුමනසිකාර ග්‍රන්ථයත් ප්‍රඥාවේ ආලෝකය නම් වූ ග්‍රන්ථයත් ඉංග්‍රීසි බසින් සිංහලට පරිවර්තනය කරන ලද්දේද එතුමිය විසින් ම ය. බුද්ධ ධර්මය සම්බන්ධයෙන් සහ සමථ - විදර්ශනා භාවනා මාර්ගය ගැනත් නිවැරදි අවබෝධයක් ඇති සිල්වියා ගුණතිලක ගුරු මහත්මිය අතින් සිංහල බසට පරිවර්තනය වූ මේ දැනුම සහ දැකීම භාවනා ග්‍රන්ථය, දේශකයන් වහන්සේගේ අදහස ලෙසින් ප්‍රකාශ වන සේ සම්පාදනය වී ඇත.

දේශීය, විදේශීය ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ථේරවාද බෞද්ධ භාවනා මාර්ගය අවබෝධ කරවන අග්ගමහා කම්මට්ඨානාචාර්ය අති පූජනීය පා-අවුක් සෙයාඩෝ මාහිමියන් වහන්සේට විංශත් ශතවර්ෂාධික කාලයක් ආයුරාරෝග්‍යාදි සම්පත් අභිවර්ධනය වේවා. පින්වත් සිල්වියා ගුණතිලක ගුරුමාතාවටත් ධර්මදානය වශයෙන් මේ පොත මුද්‍රණය කරවා පිරිනමන පරිත්‍යාගශීලි සැමටත්, මුද්‍රණාලයාධිපති තුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයටත්, මෙය භාවිතා කරන සැමටත් ධර්මඥාන භාවනාමය ඤාණයන් ආයුරාරෝග්‍ය සම්පත්තියත් ධ්‍යාන මාර්ගඵලාධිගමයෙන් ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවත් සුව සේ සාක්ෂාත් වේවා.

“සුඛිනොවා ඛෙමිනො හොන්තු- සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ” මෙයට , මෙත්සිතැති නාඋයනේ අරියධම්ම ස්ථවිර නාඋයන ආරණ්‍ය සේනාසනය පන්සියගම

නාඋයනේ අරියධම්ම ස්ථවිර
නාඋයන ආරණ්‍ය සේනාසනය
පන්සියගම

පෙරවදන

අප වැඩි දෙනා දන්නා පරිදි, සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිශික්ෂාව බෞද්ධ ප්‍රතිපදාවේ අවස්ථා තුනකි. එම ප්‍රතිපදාව වැඩීමෙන් පුහුදුන් පුද්ගලයකුට, අනුත්තරම නිවන් සැප ලබා ආර්ය පුද්ගලයෙකු බවට පත් විය හැකිය.

බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ විසින් සකස්කරන ලද විශුද්ධි මාර්ගය ත්‍රි ශික්ෂාව පිළිබඳ විවරණයකි පාලි සූත්‍ර සහ විවිධ අටුවා කථා පදනම් කොට ලියවී ඇති විසුද්ධි මාර්ගයෙහි සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඤාණ දහසයද විස්තර කර ඇත. එහෙත් මේ සියල්ල වඩන්නේ කෙසේදැයි පරම්පරා ගණනක බෞද්ධයන්ට ප්‍රශ්නයක් විය. එබැවින් අති පූජනීය පා අවුක් සෙයඩෝ ස්වාමින් වහන්සේ අප වෙත පැමිණීම අපේ භාග්‍යයකි.

විසුද්ධි මාර්ගයෙහි උගන්වා ඇති සියල්ලම උන්වහන්සේ වැඩි විස්තර සහිතව උගන්වති. විසුද්ධි මාර්ගයට පදනම් වූ පාලි සූත්‍ර හා අට්ඨකථා ද විසුද්ධි මාර්ගය ද පදනම් කරගෙන උන්වහන්සේ යෝගාවචරයන්ට එම සප්ත විසුද්ධිය සහ විදර්ශනා ඤාණ පියවරෙන් පියවර පහදා දෙයි.

පා අවුක් අරණ්‍ය සෙනසුනෙන් ධර්මය උගන්වනු ලබන්නේ මෙම ජීවිතයේදීම නිර්වාණාවබෝධය සඳහාය. එම පරමාර්ථය මුදුන් පත් කර ගන්නා පිණිස යෝගීන් සියලුම නාම රූප හෙවත් පඤ්චස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගත යුතුයි. විපස්සනා භාවනාවට අරමුණු වන්නේ අජ්ඣත්තික හා බාහිර පඤ්චස්කන්ධය පමණක් නොව, අතීත අනාගත, පච්චුප්පන්න, හීන ප්‍රණීත දුර ලඟ පඤ්චස්කන්ධ ද අරමුණු වෙයි. යෝගීන්ට ආර්ය මාර්ගඵල ලබා අනුක්‍රමයෙන් කෙලෙස් නැසීමට හැකි වන්නේ ඒ සියලුම පඤ්චස්කන්ධ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විනිවිද දැක අවබෝධ කරගැනීමෙන් පසුය. පළමුවරට නිවන් දැකීමෙන් පසු යෝගීන්ට තමන් ලබාගත් ප්‍රථම මාර්ග ඵලයත්, තමන් විසින් ඉවත් කරන ලද කෙලෙස් හා ඉවත් කිරීමට ඇති කෙලෙසුන් පැහැදිලිව පෙනේ. ඉන් පසු ඔවුහු අවසාන අවස්ථාව වන අර්හත්වය දක්වා ඉහළ මාර්ගඵල ලැබීමට විපස්සනා වැඩීම නොකඩවා කරගෙන යති. අර්හත්වයෙන් පසු පුනර්භවයක් නොමැත. ජීවිතාවසානයේදී ඔවුහු පිරිනිවන් පාති.

බුදු සසුන පිරිහෙමින් පවතින මේ යුගයේදී මූලික බෞද්ධ භාවනා ක්‍රම අනුව භාවනා වැඩීමට මට ඉඩ සැලසී තිබේ. එය මගේ ඉමහත් භාග්‍යයකි.

මා බුදුරජාණන්වහන්සේ වැඩිසිටි කාලයට ආපසු ගොසින් සිටින්නාක් මෙන් මට දැනේ. බුදුරජාණන්වහන්සේගේ මෙම ඉගැන්වීම නැවත සොයා ගනු පිණිස පාලි සූත්‍ර හා අටුවා හදාරමින් අවුරුදු බොහෝ ගණනක් ආරණ්‍යයෙහි භාවනා වැඩූ සෙයඩෝ ස්වාමින්වහන්සේට මම ඉතා කෘතඥ වෙමි. මනුෂ්‍යයන්ගේ යහපත පිණිස භාවනා ඉගැන්වීමට උන්වහන්සේ තමන්ගේ කාලයෙන් වැඩි කොටසක් පරිත්‍යාග කරන්නේ කරුණාවෙන්ය. සප්ත විසුද්ධිය පිළිබඳව උන්වහන්සේ සවිස්තරව කරන ඉගැන්වීම ඉතා පැහැදිලිය. ඒ පැහැදිලි බව විසුද්ධි හත පිළිබඳ කෙරෙන විස්තර පුරාම කැපී පෙනේ.

මෙය දුර්ලභ වූ ධර්මයකි. තායිවාන්හි පමණක් නොව මුලු ලෝකයේම මෙබන්දක් සොයාගැනීම අතිශයින් දුෂ්කරය.

අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා සෙයාඩෝ ස්වාමින් වහන්සේ යී චුං පන්සලේ පළමුවරට භාවනා වැඩ සටහන් මෙහෙයවූහ. උන්වහන්සේගේ ඉගැන්වීම තායිවාන් ජාතිකයන් අතර මූලික බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ උනන්දුවක් ඇති කරවන බව නිසැකවම කිවහැකිය. තව ද මහායාන බුදුදහමේ භාවනා වැඩීම පිළිබඳ හිස්තැන් පිරවීමටද සෙයාඩෝ ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් බෙහෙවින් උපකාර වේ. මේ පොත කියවන අය සෙයාඩෝ ස්වාමින්වහන්සේ තායිවානයේ පැවැත්වූ ගැඹුරු දේශන වලින් සහ ප්‍රශ්නවලට උන්වහන්සේ දුන් පිළිතුරු වලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ වඩා ගැඹුරු අවබෝධයක් ලබා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

සත්‍ය ධර්මය බොහෝ කල් පවතිවා ! මේ පොත පළ කිරීම සංසාර වට්ටය කුමක්දැයි දැනගෙන එයින් මිදීමට කැමති අයට පිළිසරණක් වේවා ! සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය. සියලු ධර්මයෝ අනාත්මයෝය. නිර්වාණය පරම ශාන්ති යයි. ප්‍රත්‍යක්ෂ වශයෙන් අනිත්‍ය අවබෝධ කර ගැනීම පිණිස තවත් බොහෝ දෙනාට නියම විමුක්ති මාර්ගය පෙන්වා දීමට පොතට හැකිවේවා ! ඒ නිවන දැකීම කළ නොහැකි දෙයක් නොවේ. ඒකාන්තයෙන්ම කළ හැකි දෙයකි. යමෙක් එය දකින්නේද ඔහු පමණක් එය දනියි. යමෙක් එය අත්දකින්නේද, ඔහු පමණක් ධර්මයෙහි පරම සුඛය විඳින්නේය.

“භික්ෂුණී හෝං ෂිං හයි හුයි පන්සල, කි ලෝං නගරය, තායිවානය.” “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”

භික්ෂුණී හෝං ෂිං
හයි හුයි පන්සල, කි ලෝං නගරය, තායිවානය.

හැඳින්වීම

මියන්මාර් හි මෝලමියෙන් ප්‍රදේශයේ පා අවුක් චිත්තලපබ්බත අරණ්‍ය සෙනසුනේ වැඩ වසන අති පූජනීය පා අවුක් සෙයාඩෝ ස්වාමින්වහන්සේ විසින් මෙම පොතේ පළවී ඇති දේශනා පවත්වන ලද්දේ උන්වහන්සේ තායිවාන්හි සිංෂු නගරයේ යීචුං පන්සලෙහි දෙමසක භාවනා වැඩ සටහන් මෙහෙයවමින් සිටියදීය. මෙම දෙමස තුළ උන්වහන්සේ දිනපතාම යෝගීන්ට කර්මස්ථාන දෙන අතර ප්‍රධාන දේශන හතක්ද කියවූහ. දේශනා භාවනා වැඩ සටහනට පෙර පා අවුක්හි සකස් කරන ලදි. සෑම දේශනයකට පසු ප්‍රශ්නෝත්තර දේශනයක්ද වෙයි.

භාවනා වැඩසටහනට සහභාගි වූ යෝගීන් විසින් වැඩ සටහනට පෙර ප්‍රශ්න ඉදිරිපත් කරන ලදි. ඒවාට පිළිතුරුද, සෙයාඩෝ ස්වාමින්වහන්සේ විසින් වැඩ සටහනට පෙර සකස් කොට ඉදිරිපත් කරන ලදි.

මීට අමතරව තවත් දේශනා දෙකක් සෙයාඩෝ ස්වාමින්වහන්සේ කියවූහ. එකක් බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිදුවූ වෙසක් පොහෝ දින පන්සලේ රැස්වූ මහජනයා උදෙසා කියවනලදී. දේශනා 16 ක්ම සකස් කරන ලද්දේ ඉංග්‍රීසියෙන්ය. එහෙත් අසා සිටින්නන් චීන ජාතිකයන් නිසා එම දේශනා කලින් චීන බසට පරිවර්තනය කරන ලදි. සෙයාඩෝ ස්වාමින්වහන්සේ ඉංග්‍රීසි දේශනය කියවන අතර, චීන පරිවර්තනයද ඒ සමගම කියවනු ලැබීය. මෙම දේශනාවලින් සමථ භාවනාව විදර්ශනාවට පිවිසෙන ප්‍රධාන දොරටුව වශයෙන් උගන්වනු ලබන අතර සෙයාඩෝ වහන්සේ විසින් ශුද්ධා විදර්ශනාව ද උගන්වනු ලැබේ. ඒ ක්‍රම දෙකම පිළිබඳව උන්වහන්සේ මූලික බුදුදහම අනුව උපදෙස් දෙන්නේ එහෙයිනි.

මෙම පොත පළකිරීමට පෙර මීට ඇතුළත් කරුණු සංස්කරණය කළ යුතු බව සෙයාඩෝ ස්වාමින්වහන්සේ තීරණය කළ බැවින්, උන්වහන්සේ තායිවානයෙහි පැවැත්වූ දේශනා කිසිම වෙනසක් නොමැතිව වචනයක් පාසා මෙහි පලවී ඇත. භාෂා විලාසය වුවමනා පරිදි වෙනස් කරන ලෙස සෙයාඩෝ ස්වාමින්වහන්සේ ඉල්ලා සිටියහ . මුළු පොතම සංස්කරණය කරන අතර උන්වහන්සේ සමග ඒ පිළිබඳව නිතර සාකච්ඡාකොට උන්වහන්සේගේ අදහස් විමසන ලදි.

වැඩිවශයෙන්ම සංස්කරණය කරනලද්දේ දේශනවල ආකාරය මිස ඊට ඇතුළත්වන කරුණු නොවේ. සෙයාඩෝ ස්වාමින්වහන්සේ යෝගාවචරයන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ට උපදෙස් දෙන විට උන්වහන්සේ ඉංග්‍රීසි කථාකරන විලාසය ඒ අයුරින්ම පවත්වාගැනීමට උත්සහ දරන ලදී. සෙයාඩෝ ස්වාමින්වහන්සේ තායිවාන් ජාතික හා චීන සහ මලයාසි ජාතික මහායාන බෞද්ධයන් අමතා කථා කරන බැවින් උන්වහන්සේගේ දේශනාවල සාමාන්‍යයෙන් බහුල වශයෙන් දක්නට ලැබෙන ථේරවාදී බෞද්ධ ග්‍රන්ථ වලින් හා අටුවාවලින්ද ගෙන හැර දක්වන දහම් කොටස් මෙම පොතටද ඇතුළත්වූ දේශනාවල ඇත්තේ ස්වල්පවශයෙනි . පාලි ග්‍රන්ථයකින් උපුටාගත් කොටසක් පරිවර්තනය කරන විට එයට අටුවාවලින් ගැටපදයක්ද එකතුකිරීමේ බුරුම සිරිත උන්වහන්සේ අනුගමනය කරති.

සංස්කාරකයන් ප්‍රධාන තැන දී ඇත්තේ සෙයාඩෝ ස්වාමින්වහන්සේගේ දේශනා නිවැරදි ලෙසත් අමුත්තාටත්, යෝගාවචරයාටත් උගනාටත් කැමැත්තෙන් කියවීමට හැකි ලෙසත් ඉදිරිපත් කිරීමයි. එම නිසා මෙම පොත නිර්මාණය කිරීමේදි එහි සංස්කරණය පිළිබඳ සම්පූර්ණ ඒකාකාර භාවයක් දක්නට නොලැබේ.

මේ පොතේ රචනය, පරිවර්තනය , සැකසීම ආදිය පිළිබඳ විවිධ පුද්ගලයන්ගේ උපකාරය ලැබී ඇත. කරුණු පිළිබඳ යම් කිසි අඩුපාඩුවක් හෝ වරදක් හෝ ඇත්නම් මෙම පොත නිපදවීමට උපකාරවූ අය පමණක් වග කිව යුතුයි.

සංස්කාරකයෝ පා අවුක් ආරණ්‍ය සෙනසුන

සංස්කාරකයෝ
පා අවුක් ආරණ්‍ය සෙනසුන