ථෙරවාදී බෞද්ධාචාර්ය්යයෝ - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf
- කතෘ :
- පොල්වත්තේ බුද්ධදත්ත හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1960
- මුද්රිත වර්ෂය :
- 1960
- පිටු ගණන :
- 230
- බාගත කිරීම් ගණන :
- 2,227
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-12-10
- ගොනුවේ ප්රමාණය :
- 73 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ථෙරවාදී බෞද්ධාචාර්ය්යයෝ යනු අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ ශ්රී බුද්ධදත්ත මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත, ථෙරවාද සම්ප්රදායේ ඓතිහාසික ග්රන්ථකාරක මහතෙරවරුන්ගේ ජීවන තොරතුරු හා ශාස්ත්රීය සේවාව විමර්ශනය කෙරෙන අගනා චරිතාපදාන කෘතියකි.
මෙහි බුද්ධඝෝෂ, ධම්මපාල, බුද්ධදත්ත ආදී අටුවාචාර්යවරයන්ගේ පටන් ශ්රී ලංකාවේ සහ බුරුමයේ වැඩවිසූ සුප්රකට ථෙරවාදී ආචාර්යවරයන් 35 දෙනෙකු පිළිබඳ ඓතිහාසික තොරතුරු සාකච්ඡා කෙරේ. මෙහි දෙවන මුද්රණය 1960 දී අම්බලන්ගොඩ පොල්වත්තේ ඇස්. කේ. චන්ද්රතිලක මහතා විසින් ප්රකාශයට පත් කර ඇත.
- බුද්ධඝෝෂ, බුද්ධදත්ත, මහානාම, උපසේන, ධම්මපාල ආදී අටුවාචාර්යවරු
- දිඹුලාගල මහාකාශ්යප, සාරිපුත්ත, මොග්ගල්ලාන, සංඝරක්ඛිත ආදී පොළොන්නරු යුගයේ ආචාර්යවරු
- තොටගමුවේ ශ්රී රාහුල, වීදාගම මෛත්රෙය ආදී කෝට්ටේ යුගයේ යතිවරු
- වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමි ඇතුළු නූතන යුගයේ ආචාර්යවරු
- ජාගරාභිවංස, ලේඩී සෙයඩෝ ආදී බුරුම ථෙරවාදී ආචාර්යවරු
පෙරවදන
පෙර සිටි බෞද්ධාචාර්ය්යවරයන්ගේ චරිතකථා දැක්වෙන පොතක් මේතාක් පළනොවීය. මහායානික බෞද්ධාචාර්ය්යවරයන්ගේ චරිත ඇතුළත් පොත් හා ලිපි විරල වශයෙන් දකින්ට ලැබෙතත් ථෙරවාදී බෞද්ධාචාර්ය්යයන්ගේ චරිතකථා අතිදුර්ලභ වෙති. පෙර විසූ උතුමන් ලෞකික දෙය උසස්කොට නොසැලකූබැවින් ශ්රේෂ්ඨ තමන්ගේ හෝ අනුන්ගේ චරිතකථා ලියා තැබීමට උත්සාහයක් නොකළාහයි සිතියහැක.
පාලිඅටුවා ලිවීමෙන් ස්වකීය නාමය අමරණීය කළ බුද්ධඝෝෂාචාර්ය්යයන්ගේ චරිතය පවා සොයාගතහැක්කේ ඉතා අපහසුවෙනි. උන්වහන්සේගේ චරිතය සංක්ෂෙපයෙන් මහාවංශයෙහි ලියවී ඇතත් එය සංකීර්ණතාවයක පවතී. ‘’බුද්ධඝෝසුප්පත්ති’’ නමින් පාලියෙන් සම්පාදිතවූ උන්වහන්සේගේ චරිතපොතක් ඇතත් එය ජනශ්රැතියම මුල්කොට ලියූවක් බව පෙනේ. මේ නිසා ඉතාප්රකට එතුමන්ගේ චරිතය පිළිබඳ සත්ය ප්රවෘත්ති සොයාගත හැක්කේ ඉතා අපහසුවෙනි.
ද්විතීය අටුවාචාර්ය්යවරයා වූ බදරතිත්ථවාසී ධම්මපාල මහ තෙරුන්ගේ චරිතය සෙවීම ඊටත් වඩා අපහසුය. සවෙනි ක්රිස්තුශතාබ්දයෙහි නාලන්දාමහා විශ්වවිද්යාලයාධිපතිව විසූ ග්රන්ථකාරක ධර්මපාලාචාර්ය්යයන්ගේ ජීවනචරිතය හියුංසියං චීනමහතෙරුන් විසින් ස්වකීය වෘත්තාන්තයෙහි ලියනලද බැවින් අපට දැනහැකිව තිබේ. පාලිපොත් ලියූ ධම්මපාලාචාර්ය්යතුමාත් ඒ මහායානික ධර්මපාලස්ථවිරතුමාම වියහැකැයි සිතු මම මේ පොතේ ප්රථම මුද්රණයේදී ඒ චරිතය මෙහි ඇතුල් නොකොට ‘’භාරතීය බෞද්ධාචාර්ය්යයෝ’’ නමැති පොතෙහි ඇතුළත් කෙළෙමි. නමුත් ඊට පසු පාලිඅටුවා ලියූ ධම්මපාලාචාර්ය්යයන්ට විසුද්ධිමග්ගටීකාව ලිවීමට ආරාධනා කළ දාඨානාග මහතෙරුන් විසූ කාලය මහාවංශයෙන් සොයාගත හැකිවූ බැවින් ඒ චරිතය වෙන්වශයෙන් ලියා මේ දෙවෙනි මුද්රණයට ඇතුළත් කෙළෙමි. එතුමා ජීවත්වූයේ අටවෙනි ක්රිස්තුශතාබ්දයේ අගකොටසේදී යයි පෙනේ.
ප්රථම මුද්රණයෙහි ඇතුළත්කොට තිබුණු ‘’යාත්රාමුල්ලේ ධම්මාරාම’’ මහතෙරුන්ගේ චරිතය සම්ප්රීතිකයේ බෞද්ධාචාර්ය්යයන් අතරට යායුතු බැවින් මේ පොතෙන් ඉවත් කෙළෙමි.
මෙහි තිබෙන චරිත සියල්ලම වාගේ අතනින් මෙතැනින් කරුණු අවුලාගෙන සකස්කර තිබෙන බව පොත කියවන්නන්ට වැටහෙනවා ඇත. එසේ වෙහෙසවී සම්පාදනය කරන පොත්වල අගය දන්නෝ ලක්දිව දුර්ලභවෙති. ඇතැම්කෙනෙක් මෙයින්ම කරුණු උපුටාගෙන තමන්ගේ වචනවලින් ලියා ‘’ඇතැම් කෙනෙක් මෙසේ කියත්’’ යනාදිය යොදත්. නමගම නොයොදා ‘’ඇතැම් කෙනෙක් මෙසේ කියති’’ යි අපේ අටුවාවල යෙදූ බැවින් ඒ ‘’ඇතැම්හු’’ කවරහුදැයි සොයා ගැනීම දැන් අපට දුෂ්කර කාර්ය්යයක් වී තිබේ. ‘’විශුද්ධිමාර්ගයෙහි’’ එසේ කියා තිබෙන්නේ බොහෝසේම අභයගිරිවාසීන් සඳහාය. ඒ බව අපට දැනගතහැකිවූයේ ‘’විමුත්තිමග්ග’’ නමැති පාලිපොතේ චීනපරිවර්තනය ඉංග්රීසියට නැගූ පසුය. මෙසේ නම ගම නොකියා ‘’ඇතැම්හු’’ යයි කීම බටහිර උගතුන් අතර නැතැයි කියයුතු තරම්ය. ඔවුහු ඒ වෙනස් මතධාරියාගේ නම දැක්වීමට මැලි නොවෙති. අපරටේ උගත්තු තවම පරණ සම්ප්රදාය අනුගමනය කරමින් ‘’ඇතැම් කෙනෙක්’’ යයි ලියති. ඒ ක්රමය අත්හැරදමා ‘’අසවලා මෙසේ කියයි’’ ආදිවශයෙන් නම්ගම් දක්වා ලියයුතු කාලය දැන් පැමිණ තිබේ. සමහරු පුද්ගලයන්ගේ නම් හෙළිකොට ලියන්ට නොකැමැතිබැවින් මෙසේ ලියත්.
ප්රථම මුද්රණයේ පොත් දෙදහ අවසන්වීමට අවුරුදු දොළොසක් ගතවිය. මේ පොත් විකිණෙන ප්රමාණය දැන ගැනීමට එය උපකාරයකි.
මේවර පිටකවරයේ යොදා තිබෙන්නේ පුණ්ණමහානාභිප්රේත මහරහතන් වහන්සේගේ රූපයයි. එය වනාහි ශතවර්ෂ බොහෝ ගණනකට පෙර හෙවත් ක්රි. ව. 710 - 793 අතර කාලයේදී ජපන් රටේ නාරානුවරදී ලියෙන් කපන ලදුව ලාකඩින් පාට කරන ලද්දකි. උස අඩි හතරකුත් අඟල් දහයමාරකි. එනුවර ‘’කෝජුකුජි’’ විහාරයට අයත්ව තිබෙන එය ජපන්රටේ ජාතික වස්තුවක් ලෙස සලකනු ලැබේ. ඡායාරූපය මට ලැබුණේ පෙර අපේ ආරාමයේ විසූ කොරියන් භික්ෂු නමගෙනි.
මා සම්පාදනය කළ ‘’පාලිසාහිත්යය’’ නමැති පොතෙහිත් බොහෝවිට ග්රන්ථකර්තෘවරයන්ගේ චරිත දැක්වූ බැවින් මේ වාරයේ මේ පොතේ ඇතැම් ගාථාදිය අස්කරනලදී. සියමේ වජිරඤාණසංඝරාජයන්ගේ චරිතයට තවත් කරුණු එක්කරන ලදී. චොළියකස්සපමහතෙරුන්ගේ චරිතය අමුතුවෙන්ම ඇතුළත් කරනලදී.
ජාගර මහතෙරුන්ගේ මුල්කාලය පිළිබඳ ප්රවෘත්ති කීපයක් මේ දෙවෙනි මුද්රණය අවසන් වෙන්ට ළඟදී මට දැනගන්ට ලැබුණි. එය ලැබුණේ රන්ගුන් විශ්වවිද්යාලයේ පාලිකථිකාචාර්ය්යයෙක් වූ ද මාගේ මිත්රයෙක් වූ ද වංගජාතික ‘’දේව්ප්රසාද් ගුහා’’ මහතා පාලිසන්දේශයක් සම්බන්ධයෙන් සම්පාදනය කළ ලිපියකිනි. එහි තිබෙන ප්රවෘත්ති මෙසේයි:-
‘’ජාගරමහතෙරනම උඩබුරුමේ ෂ්වේබෝනුවරට දකුණෙන් පිහිටි ෂ්වේජීන් නමැති කුඩා ගමෙහි උපන්නේය. වයස හතේදී ඒ ළමයා එම ‘’මහාබෝධි’’ නමින් යුත් විහාරයේ අධිපති ‘’වරබුද්ධි’’ තෙරුන් වෙත අකුරු ඉගෙනීමට ගියේය. එතුමා වයස 14 දී පැවිදි විය. වයස විස්සේදී උපසම්පදාව ලබා ජාගර නාමයෙන් ප්රකට විය. එයින් අවුරුදු අටකට පසු එතුමා ප්රකට ආචාර්ය්යවරයෙක් විය. එතුමාගේ කීර්තිය (ක්රි. ව. 1853 - 78 අතරේ රාජ්ය කළ) මෙන්ඩුන් මහරජතුමාට අසන්ට ලැබී ඒ රජ ධම්මිකාරාම නමැති ආරාමයක් සාදවා තිස්නව හැවිරිදි වූ ජාගරතෙරුන්ට පිදීය. ඒ විහාරය පසුකලක ‘’ෂ්වේජීන් ආරාමය’’ යි ප්රකට විය. මෙතුමාගේ උගත් කමත් විනයානුකූල පැවැත්මත් නිසා බොහෝ පැවිද්දෝ දිනපතා එතුමන් වෙත පැමිණෙන්ට පටන්ගත්හ. පසුකලක ඒ සම්බාධය නිසා කලකිරුණු එතුමා වයස 43 දී වනවාසයට ගියේය. ඒ කාලයේදී මෙන්ඩුන් මහරජ එතුමාට ‘’ජාගරාභිධජ සද්ධම්මවංස - අතුලාධිපති මහාධම්මරාජාධිරාජගුරු’’ නාමය දුනී.
මෙතුමන් කෙරෙහි මහ රජුගේ ගෞරවය දැක්වෙන සිද්ධියක් මෙසේයි. මෙතුමන් මණ්ඩලේ නුවර වසන කාලයේදී සුධම්ම නිකායේ පාලකයෝ වූ මහතෙර අටනමක් එතුමන් හමුවීම පිණිස සුධම්මාශාලාවට පැමිණෙතසේ ආඥාවක් යැවූහ. ජාගර තෙර නොපැමිණියේය. දෙවෙනි තෙවෙනි වාරවලදීත් සංඝාඥා යැවූ නමුත් නාවේය. ඉන් පසු බලාත්කාරයෙන් සංඝසභාව ඉදිරියට ගෙනෙන්ට සැරසෙන විට රජතුමාට ඒ කාරණය දැනගන්ට ලැබී ජාගර තෙරුන්ට නිදහසේ ඉන්ට හරින මෙන් සංඝයාට දැක්වීය. මේ කාලයේදී ජාගරතෙරුන්ගේ ප්රතිපත්ති අනුගමනය කළ භික්ෂූහු පස්නමක් පමණක් වූහ. ඒ පිරිස සුධම්ම නමැති මහා නිකායික ප්රතිපත්තිවලට විරුද්ධ වූ බැවින් එයින් වෙන්විය. පසු කලක මේ නිකාය ‘’ෂ්වේජීන්’’ නාමයෙන් ප්රකට විය. (දැන් එය බුරුමරටේ සැමතැන පැතිරීගිය නිකායකි.)
පණස්පස් හැවිරිදි කල්හි මේ තෙරනම දළදාවැඳීම සඳහා ලක්දිවට පැමිණියේය. සැත්තෑඑක්විය පැමිණිවිට 1893 දී මේ මහතෙරණුවෝ සගයින් පලාතේ ‘’මේන්කුන්’’ ගමෙහිදී අපවත් වූහ.’’
පොල්වත්තේ බුද්ධදත්ත.
අග්රාරාමය,
අම්බලම්ගොඩ.
1. 6. 60.