ග්රීෂ්මයට වට වැසි බිඳු - Rain Drops in the Mid Summer.pdf
- කතෘ :
- පණ්ඩිතාභිවංශ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2007
- මුද්රිත වර්ෂය :
- 2007
- පිටු ගණන :
- 74
- බාගත කිරීම් ගණන :
- 1,628
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-10-17
- ගොනුවේ ප්රමාණය :
- 3.8 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ග්රීෂ්මයට වට වැසි බිඳු යනු බුරුම රටේ රන්ගුන් නුවර පණ්ඩිතාරාම වාසී අතිපූජ්ය පණ්ඩිතාභිවංශ (ඌ පණ්ඩිත) මහානායක ස්වාමීන් වහන්සේ විසින් දෙන ලද අවවාදානුශාසනා ඇතුළත් කෘතියකි. මෙහි සිංහල පරිවර්තනය සිදු කර ඇත්තේ මීතිරිගල නිස්සරණ වනවාසී පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි.
මුලින් ම 1996 දී බුරුම බසින් ද, පසුව මැලේසියාවේදී Rain Drops in the Mid Summer නමින් ඉංග්රීසි බසින් ද ප්රකාශයට පත් වූ මෙම අනුශාසනා සංග්රහය, බුරුම මුද්රණය සම්පූර්ණයෙන්ම පාදක කරගනිමින් සිංහලයට පරිවර්තනය කර තිබේ. දානය, සීලය, විපස්සනා භාවනාව, එදිනෙදා ජීවිතයේ ගැටලු සහ සදාචාර සම්පන්න පැවැත්ම ආදී නොයෙක් මාතෘකා 200 කට අධික ප්රමාණයක් කෙටි අනුශාසනා ලෙසින් මෙහි සාකච්ඡා කෙරේ.
මෙම දෙවන මුද්රණය (2007) ධර්ම දානය පිණිස නොමිලයේ බෙදාහැරීම සඳහා බත්තරමුල්ලේ එල්. ජී. ග්රැෆික්ස් ප්රයිවට් ලිමිටඩ් ආයතනය මඟින් මුද්රණය කරවා ඇත.
ග්රීෂ්මයට වට වැසි බිඳු
නිල්වන් පලසක් එලුවාක් මෙන් සිතිජ ඉම දක්වා ම වැසී වැඩී තිබුන තණ නිල්ල වියලි හමාර ය. ග්රීෂ්ම සෘතුවේ චණ්ඩ උණුසුම සීත සෘතුවේ සිසිලස ගිල ගනිමින් පැතිරේ. එදා සුවය-සිසිලස සැපැයූ රුක් සෙවනේ අද කහ, රතු, දුඹුරු හා කළු යන කටුක වර්ණ පෙන්වමින්, මනරම් ව සුපිපි කුසුම් වියලි හැකිලි කටුක තියුණු වියලි තණපත් අතර අසරණ ව වැතිර ඇත.
බැලූ බැලූ තැන වියලී ගිය ගස් සැකිලි කෙසඟ ව නිරුවත දක්වත්. හරිත පත්ර සළුවලින් තම විලිබිය වසාගෙන සිටි අතු-රිකිලි ලජ්ජාවට පත් කරමින් එම පත්ර ගැලවී හැලී බිම වැතිර සිටී.
කොළදාවෙන් සැරසී ආඩම්බරයෙන් පිම්බී සිටි අතු රිකිලි, එම කොළ ගැලවී හැලී යෑම නිසා විපිලිසර වී ඇත. නොබෝ කලකින් මේ සියල්ල බුර බුරා පැතිරෙන ලැව් ගින්නකට දර සපයනු ඇත. ගොවියන් විසින් කරන ගොවි බිම් සුද්ද කිරීම්, පඳුරු ගිනි තැබීම් නිසා විහිදෙන දුම හා දූවිල්ල දූෂිත වාතය තවත් දූෂණය කරමින් අතැනින් මෙතැනින් ඉහළ නගිනු පෙනේ.
ඒ අතර වාරයේ දූවිලි පිරි ගුරු පාර සැඩ හිරු රැසින් තැවී, විඩාපත් බව කියා පාමින් යන එන කරත්ත වල බැඳි ගොන් කුරවලින් ද පාපැදි හා සැහැල්ලු වාහන වලින් ද ඇවිස්සෙන දූවිලි වලා පිඹිමින් විවර වූ වායු ගෝලය තව තවත් පුරවයි. අහස සිසාරා බැලුවද පේන තෙක් මානයේ වළාකුලක් නැත. එනමුදු අහස හෝ චණ්ඩ හිරු මඬල පැහැදිලි ද නැත. දූලි දුම් වළාවලින් බොඳ වී ඇත. උඩ අහසේ දූලි වළාවන් බිම පොළොව සිසාරා පැතිරෙන දුම් - දූලි ප්රමාණයත් අතර ග්රීෂ්ම සෘතුවේ බුරුම රට වා සාගරය හුස්ම හිර කරවන සුළු ය. ඈත පිටිසර පළාත්වල පවා ග්රීෂ්මය නොදැරිය හැකි තරම් වේ. දහඩියෙන් ගත උණු වී ඇත.
මේ ග්රීෂ්ම ලකුණු මැද හදිස්සියේ ම සිතිජ ඉමේ කඳු මුදුන් පීරා ගෙන අඳුරු වලා පෙරළී විත් අහස වසා ගත්තේ ය. සිසිල් සුළං මදින් මද හමන්නට විය. පැවැති ග්රීෂ්ම කටුකත්වයට හාත් පසින් ම අමුතු දෙයකි. අහ්: ඈත අහසේත් හෙණ හඬ මැද අකුණු සැර පුපුරයි. වැසි සමයක සාදර ආරම්භයකට දොරටු විවෘත කරන්නා සේ ය.
මේ ග්රීෂ්මයේ වැටෙන බිඳුවක් බිඳුවක් පාසා වැස්ස පණ ඇති සියලු දේ නොමඳ ව පිනවයි. දූෂිත වූ කැකෑරෙන වාතය පිරිසිදු කරයි. ගස් වැල් වලට තෙතමනය සලසයි. මිනිසුන්ට තිරිසනුන්ට පානීය පාරිභෝජනීය ජලය සපයයි. වැස්සෙන් පසු ආශ්වාසය සඳහා ලැබෙන සිසිල් නැවුම් වාතය ගත-සිත පිනවන්නකි. කාල ගුණය සුව දායක බවට මාරු වී නැවතත්, නිල්ල වැදුනු ගස් කොළන් අතරින් පෙරී එන දීප්තිමත් හිරු කිරණ දැක ගන්නට ලැබෙනු ඇත හෙට.
අරුණත් සමඟ හෙට වියලි තණ බිස්සෙන් ඉහළට ඇදෙන ලා මුදු තණ පත්, කෝටු වී ගිය අතු අගින් පිපෙන පුංචි රිකිලි ලහි ලහියේ දිග හැරෙන හැටි පෙනේවි. ඉදින් වර්ෂාව දිගට ම පවතින්නේ නම් වැලි කතරේ පවා මල් පිපෙනු නිසැක ය.
රාග, ද්වේශ, මෝහ, මද, මාන ආදී වූ කෙලෙස් වලින් තැවී ගිය ලෝකයට අති පූජ්ය උ. පණ්ඩිතාභිවංශ ස්වාමීන් වහන්සේගේ වචන, අනුශාසනා වනාහි සත්තකින් ම සැනසිලි දායක ය. අර්ථය එලවන සුළු ය. සිත ප්රබුද කරන සුළු ය. ග්රීෂ්මයට වට වැසි බිඳු වන්ය. සෘතුවේ අලුත් වැසි බිඳු පීඩිත වාතයේ කැලතී ඇති දූලි නිසා එතරම් පිරිසිදු බවක් නො දක්වයි. එනමුදු දිගින් දිගට යලි යලිත් වැසි වසින විට ටිකෙන් ටික පිවිතුරු වන බවට සැකයක් නැත. අවසානය වැසි දහර පිරිසිදු ය. පිවිතුරු ය.
එසේ ම බුරුම ශ්රාවක-ශ්රාවිකා පිරිසට දෙන ලද, පසු ව විවිධ භාෂාවන්ට පරිවර්තනය කරන ලද මේ වචන, අනුශාසනා එකතුවේ මුල් භාගය සාමාන්ය කරුණු සාකච්ඡා කරයි. (උදා: රාජකාරී, ප්රශ්න, දූ-දරුවන්, ජීවිතය, පැවිද්ද, ගුරුවරුන්, ශාසනික කටයුතු, දාන පිංකම් ආදිය පිළිබඳ බෞද්ධ ආකල්ප වලින් සමන්විත ය). ක්රමයෙන් මෙහි අන්තර්ගතය ගැඹුරු වී ගොස් ශීලයේ අගය, විපස්සනා භාවනාවේ ඥාන වර්ධනය සම්බන්ධ විවිත්ර නිදසුන් සහිත ව නිමාව දකී.
විපස්සනා කම්මට්ඨානාචාර්යවරයා වනාහි ඉතා තලතුනා තැන්පත්, සන්සුන්, උදාසීන, නොසැලකිලිමත් කෙනෙක් විය යුතු යැයි කෙනෙක් චිත්ත රූපයක් මවා ගෙන සිටියේ නම් මේ පණ්ඩිතාභිවංශ ස්වාමීන් වහන්සේ දුටු විට එය නිවැරදි නැති බව වටහා ගනු ඇතී. මෙහි ලා කථා කරන මාතෘකාවල විවිධත්වය ම එයට සාක්ෂි දරයි. විෂයට කෙලින් ම සම්බන්ධ නැති මුත්, දේශකයන් වහන්සේ මානුෂිකත්වය ගැන ගැඹුරින් සලකන අතර වඩාත් සදාචාර සම්පන්න සාමකාමී සමාජයක් ගොඩනැගීමෙහි ලා තමන් වහන්සේ අදහන ලෙසට ඉතා සජීවී ව සම්බන්ධ වී ගත කරන සේක. පුද්ගලයෙක් වශයෙන් අදම්ය නොසැලෙන ජීවය ශක්තියක් මෙන් ම නිමා නොවන වීර්යයකින් හෙබියේ ය. බෝ වන සුළු උද්යෝගිමත් බවකින් යුක්ත චරිතයකි. සයාඩෝ ස්වාමීන් වහන්සේගේ උණුසුම් මෛත්රිය ඉදිරියේ කෙසේ තලතුනා කමක් හෝ නොසැලකිලිමත් බවක් සොයන්න ද? ස්ව-අර්ථ කථන යෙන් ම දක්වතොත් ස්නේහය පිරි මෛත්රිය යි. (69 වන මාතෘකාව බලන්න. පිටු අංක 24) සතුටේ දී දක්වන සිත් ඇද බැඳ ගන්නා සුළු සිනහව, ළමා වියේ කෙනෙකු මෙන් සිනහව යට කර ගන්න තනන ඉරියව්ව දකින විට එහි තැන්පත් උදාසීන බවෙක් දැකිය නොහැක්කේ ය. එමෙන් ම මහත් පරිශ්රමයෙන් යුක්ත ව මුළු හිත යොදා විපස්සනා භාවනාවෙහි යෝගීන් හසුරුවන විට අචල අධිෂ්ඨානයත්, දැඩි සික්ඛා ගරුත්වය පිළිබඳ සුපරීක්ෂාකාරීත්වයත් නිසැකයෙන් ම මතු වේ. මේ කියන ගති ලකුණු පරස්පර විරෝධී බවක් දැනවන නමුදු අතිපූජ්ය උ. පණ්ඩිතාභිවංශ ස්වාමීන් වහන්සේගේ නාම රූප ධර්මයන් ක්රියාත්මක වන්නේ නම් මේ කියූ ලෙසට මැ යි.
මුලින් ම බුරුම බසින් එළි දැක්වූ මුද්රණයේ ප්රධාන වශයෙන් සාමාන්ය කරුණු දානය, සීලය, භාවනාව යන ලෙසට බෙදා දක්වා ඇත. නමුත් ඉංග්රීසි පරිවර්තන මුද්රණයේ පටුනක් නැත. අන්තර්ගතය නම් පිළිවෙල අතින් සමාන ය. එම නිසා ඒ දෙක සැසඳීම පහසු ය.
අවසාන වශයෙන්, කලකට පසු වට වැසි දියෙන් වැලි කතරේ ද මල් පුබුදු කරවන්නාක් මෙන් මේ “ග්රීෂ්මයට වට වැසි බිඳ” කියවීමෙන් හා ඒ අනුව භාවනා කිරීමෙන් ඔබ සිතට නව පනක් හා ඉස්පාසුවක් ලැබෙනු පමණක් නො ව ධර්ම පිබිදීමක් ද නිසැක ව ම ලැබෙනු ඇතැයි උදක් ම අපේක්ෂා කරමු.
මෙතෙක් ඔබ කියැවූයේ මේ පොතේ ඉංග්රීසි මුද්රණයට සපයා තිබුණු පෙරවදනේ පරිවර්තනයකි. මුල් බුරුම මුද්රණයේ පෙරවදනක් නැත. ඉංග්රීසියට නැගී ඇත්තේ මුල් බුරුම මුද්රණයේ අන්තර්ගතයෙන් කොටසක් පමණක් මුත් මෙම සිංහල මුද්රණය සම්පූර්ණ පරිවර්තනයක් බව සඳහන් කරනු කැමැත්තෙමු.
මේ සිංහල පරිවර්තනයේ දී බුරුම ජාතික උ. අග්ගඤ්ඤඤ්ඤ ස්වාමීන් වහන්සේ පූර්ණ සහයෝගය දැක් වී ය. එය බුරුමයෙන් ශ්රී ලංකාවට ලැබුණු අනුග්රහයක් ලෙසට සලකමින් ගෞරවයෙන් මෙහි ලා සඳහන් කරමු.
මේ පොත මෙලෙස මුද්රණය කොට නොමිලයේ ඔබ අතට පත් කරවීම සඳහා බත්තරමුල්ල, සුභූතිපුර පදිංචි එස්. මලවර ආරච්චි සහ ජානකී සේනාරත්න විසින් කාරුණික අනුග්රහය ලබාදුන් අතර, සෝබන ලෙස මුද්රණය කරදීම බත්තරමුල්ල සුභූතිපුර එල්. ජී. ග්රැෆික්ස් ප්රයිවට් ලිමිටඩ් විසින් කරන ලදි. දෙවන මුද්රණයේදී, ප්රථම මුද්රණයේ තිබූ බොහොමයක් වැරදි අඩුකර ගැනීමට හැකි වූයේ සෝදු පත් බැලීමෙහි සුර පූජ්ය හපුරුදෙනියේ පියදස්සන ස්වාමීන් වහන්සේගේ කාරුණික අනුග්රහය නිසාය. මේ සියලු සත් පුරුෂ පිංවතුනට මේ අත් බැවි හිම සත්යාවබෝධය පිණිස මෙම කුසලය හේතු වාසනා වේවා! යි පතමු.
මුලින් ම 1996 දී “පණ්ඩිතාරාම ෂෙව ටෙතොං ගුන් සාසනා යෙක්තාහි අතිපූජ්ය සයාඩෝ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා” නමින් බුරුම බසින් ප්රකාශයට පත්කෙරිණි. අනතුරුව “RAIN DROPS IN THE MID SUMMER” නමින් මැලේසියාවේ දී ඉංග්රීසි බසින් එළිදැක්විනි. සිංහලයට නැගූ පසු එයට “ග්රීෂ්මයට වට වැසි බිඳු” යන නම තැබුවෙමු.
බුරුම මුද්රණය ඉංග්රීසි මුද්රණය හා මෙම සිංහල මුද්රණය යන ලෙසට මේ දක්වා මෙලෙස මේ “ග්රීෂ්මයට වට වැසි බිඳු” බෙදාදීමට ආධාර උපකාර කල සියලු දෙනාට මේ පින් බෙලෙන් උතුම් ධර්මමය සැනසිල්ල උදාවේවා යි පතන්නේ මෛත්රියෙනි.
හිතවත් මැදහත් අහිතවත් සියලු දෙනා ද මේ පින් අනුමෝදන් වෙත් වා! ලක්දිව බුදු සසුන බැබලේවා !
උඩඊරියගම ධම්මජීව හිමි
නිස්සරණ වනය
මීතිරිගල.
2007 නොවැම්බර් 03