කේතුමතී රාජධානිය - කොටුගොඩ ධම්මාවාස හිමි.pdf

කතෘ :
කොටුගොඩ ධම්මාවාස හිමි
ප්‍රකාශිත වර්ෂය :
2016
මුද්‍රිත වර්ෂය :
2016
පිටු ගණන :
40
බාගත කිරීම් ගණන :
4,744
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-09-01
ගොනුවේ ප්‍රමාණය :
629 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 21

කේතුමතී රාජධානිය යනු අනාගතයෙහි ලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේ උපත ලබන දඹදිව කේතුමතී රාජධානිය පිළිබඳව ලියැවුණු කුඩා සිංහල ධර්ම ග්‍රන්ථයකි. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමාධිපති පූජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් දෙහිවල බෞද්ධෝදය සංගමයේ ආරාධනාවෙන් මෙය සම්පාදනය කරන ලදී.

කතෘ හිමියන්ගේ පෙරවදනට අනුව, 1994 වෙසක් කලාපය ලෙස දෙහිවල බෞද්ධෝදය සංගමය මගින් ප්‍රකාශිත මෛත්‍රී බුදුරදුන් නම් පොත සංශෝධනය කොට, එහි නොලියවුණු කරුණු ද ඇතුළත් කොට මේ ග්‍රන්ථය සකස් කර ඇත. ධර්මයෙහි එන අනාගත වංශ දේශනාව මේ පොතට පදනම් වූ බව ද එහි සඳහන් වේ.

ප්‍රඥාධික, ශ්‍රද්ධාධික, වීර්යාධික යන බුදුවරුන්ගේ ආකාර තුන, මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය, නියත විවරණය ලැබීමට අවශ්‍ය අෂ්ට ධර්ම, අනාගත වංශ දේශනාව දේශනා වූ පසුබිම, කල්ප විනාශය හා සංවට්ට ආදී කල්ප සතර, මෛත්‍රී බුදුරදුන්ගේ ගුණ, ප්‍රථම විවරණය සහ කේතුමතී රාජධානිය, අග්‍රශ්‍රාවකයන්, උපස්ථායකයන් හා බෝධිය ආදී තොරතුරු මෙහි විස්තර කෙරේ.

ප්‍රථම මුද්‍රණය 2000 දී ද, දෙවන මුද්‍රණය 2016 දී ද නිකුත් විය. මේ පිටපත 2016 සැප්තැම්බර් මස ධර්ම දානය පිණිස යක්කල දිමුතු මුද්‍රණාලයේ මුද්‍රණය කරවන ලද්දකි.

කේතුමතිය

අනාගතයෙහි ලෝකයේ පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උපත ලබන්නේ දඹදිව කේතුමතී රාජධානියෙහි බව බෞද්ධ ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ. සොළසාසංඛ්‍ය නොහොත් දහසැය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පුරණ ලද පාරමී ධර්ම ඇති ඒ ශ්‍රේෂ්ඨතම මහෝත්තමයන් වහන්සේ නිසා අපරිමිත සංඛ්‍යාවක් දෙවියන් සහිත මනුෂ්‍යයන් සෝවාන් ආදී මඟඵලවලට පත්ව නිවන් දක්නාහ. එසේම උන්වහන්සේගේ බණ දහම් ඇසීමෙන් දෙව් මිනිස් සම්පත් හා බ්‍රහ්මලෝකවල බඹ සම්පත් ලබන්නෝ අපමණ ය. අපගේ ගෞතම බුදුරාජාණන් වහන්සේට වඩා සිව්ගුණයක කාල ප්‍රමාණයක් පෙරුම්දම් පිරීමේ පුණ්‍ය බලය නිසා මෙතේ බුදුන් පහළවන සමය ලෝකයා සුඛිත මුදිත බවට පත්වූ කාල පරිච්ඡේදයකි. දඹදිව කේතුමතී රාජධානිය ද පිනෙන් පිරුණු දිව්‍යලෝක බ්‍රහ්මලෝක සහ අනෙකුත් බලගතු ග්‍රහලෝකවල සිට චුතව මෙහි උපත ලද්දෝ ම වීම එයට හේතුවයි. ගෞතම බුද්ධ ශාසනයෙහි විවිධ පින්කම් කොට ‘’මෙතේ බුදුන් දැක නිවන් දකින්නෙමු’’ යි දාන සීල භාවනාදී පින්කම්හි යෙදුණෝ ද ඒ මෙතේ බුදුන් සමයෙහි උපත ලබති. පලාඵලවල රසවත් බව - ධාන්‍ය වර්ගවල ඕජෝ ගුණය සහ ප්‍රණීත බව - දේශගුණයෙහි පවත්නා වූ අතිශයින් ම සුවදායක බව මේ පුණ්‍යවන්ත කාලයෙහි ස්වාභාවික තත්ත්වය වන්නේ ය.

මේ කරුණු නිසා මෙරට පිටරට බෞද්ධයෝ මෛත්‍රී බුදුරදුන් පිළිබඳව අතිශය බලාපොරොත්තු සහිතව සිටින බව පැහැදිලිය. අපේ බණ පොත්වල ද මේ ගැන සඳහන් වන කරුණු චමත්කාර ජනකය. ගෞතම බුදුරදුන් දේශනා කළ බව සඳහන් වන ඒ කරුණු අලලා කාටත් තේරුම්ගත හැකි පරිදි මෙබඳු ධර්ම ග්‍රන්ථයක් සැපයීමට අදහස් කොට, මෙයට වසර හයකට කලින් ද එනම් 1994 වෙසක් කලාපය වශයෙන් ‘’මෛත්‍රී බුදුරදුන්’’ නමින් ග්‍රන්ථයක් දෙහිවල බෞද්ධෝදය සංගමයේ ආරාධනා පරිදි ප්‍රකාශයට පත්විය. එයින් පසු ද අවස්ථා දෙක තුනකදී සැදැහැවත් බෞද්ධ ප්‍රභූන් කීපපළක් විසින් මේ පොත දෙහිවල බෞද්ධෝදය සංගමයෙන් අවසර ලබාගෙන දහස් ගණනින් මුද්‍රණය කොට ධර්ම දානය පිණිස නොමිලේ බෙදාහරින ලදහ. දිනපතා මේ ‘’මෛත්‍රී බුදුරදුන්’’ පිළිබඳ පොත ලබාගැනීමට පැමිණෙන පින්වතුන් වැඩිවීම හා ඒ සඳහා ඉල්ලුම් කරන ලිපි දවසින් දවස වැඩිවන බැවින්, එම පොත ම සංශෝධන සහිතව කලින් පොතෙහි නො ලියවුණු කරුණු ද ඇතුළත් කොට තිබේ. ‘’කේතුමතී රාජධානිය’’ නමැති මේ බණ පොත එම තීරණයෙහි ප්‍රතිඵලයකි.

දෙහිවල බෞද්ධෝදය සංගමය මාසික වශයෙන් ධර්ම පත්‍රිකා පසළොස් දහසක් මුද්‍රණය කොට මෙරට විවිධ ප්‍රදේශවල වෙසෙන ධර්ම කාමී බෞද්ධ පින්වතුන් වෙත යවනු ලැබේ. සෑම වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනකම වැදගත් මාතෘකාවක් යටතේ ලියැවුණු කුඩා ධර්ම ග්‍රන්ථයක් ද වාර්ෂික වෙසක් කලාපය වශයෙන් නිකුත් කිරීම දෙහිවල බෞද්ධෝදය සංගමයෙන් කෙරෙන විශිෂ්ට බෞද්ධ ධර්මදූත සේවාවකි. මේ පොත හොඳින් පරිශීලනය කොට එහි සඳහන් කරුණු තම සිත්සතන්හි පිහිටුවාගෙන ගුණවත් කෙනෙකුන් වීම ඉතා වැදගත්ය. සමාජයෙහි සාමය සමාදානය සදාචාරවත් බව සහ සෞභාග්‍ය පිණිස මිනිස් පරපුර යොමුකර ගත හැක්කේ මෙබඳු ධර්ම කරුණු දැන ඉගෙන ගැනීමෙනි. ධර්මයෙහි එන අනාගත වංස දේශනාව’’ නමැති ග්‍රන්ථය මේ කුඩා බණ පොතට ගුරු වූ බව සඳහන් කිරීමට කැමති යි. බෞද්ධෝදය සමිතිය ඉදිරියටත් මෙවන් ධර්ම දානමය පින්කම් කිරීමට තව තවත් ශක්තිමත් වේවා. යි ප්‍රාර්ථනා කරමි.

කොටුගොඩ ධම්මාවාස ස්ථවිර, ශ්‍රී ධර්මපාලාරාමය, ශ්‍රී ධර්මපාල පාර, ගල්කිස්ස