කර්ම විපාක - රිදියගම සුධම්මාභිවංශ හිමි.pdf
- කතෘ :
- රිදියගම සුධම්මාභිවංශ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2012
- මුද්රිත වර්ෂය :
- 2012
- පිටු ගණන :
- 85
- බාගත කිරීම් ගණන :
- 12,205
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2017-10-18
- ගොනුවේ ප්රමාණය :
- 1.4 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
කර්ම විපාක යනු පූජ්ය රිදියගම සුධම්මාභිවංශ හිමියන් විසින් සම්පාදනය කරන ලද, කුසලාකුසල කර්ම සහ ඒවායේ විපාක පිළිබඳව සරල බසින් පහදා දෙන ධර්ම ග්රන්ථයකි. මෙහි සංසාරයේ ස්වභාවය, මිථ්යා දෘෂ්ටිය, විවිධ අකුසල කර්ම නිසා විඳින්නට සිදුවන නිරය දුක් ඇතුළු අඳුරු විපාක මෙන්ම විවිධ පින්කම්වලින් ලැබෙන කුසල විපාක සහ ආනිසංස පිළිබඳ විස්තර ඇතුළත් වේ.
මෙම සංස්කරණයෙහි මුලින් සංසාරය, මිථ්යා දෘෂ්ටිය සහ අඳුරු විපාක කොටස් ද, පසුව කුසල විපාක සහ ආනිසංස පිළිබඳ කොටස් ද පෙළගස්වා ඇත. ග්රන්ථයේ ඇතුළත් ප්රධාන මාතෘකා මෙසේය:
- සංසාරය සහ එහි ස්වභාවය
- මිථ්යා දෘෂ්ටිය
- කර්මය පිළිබඳ විවරණය
- අඳුරු විපාක (නිරය, ප්රේත ලෝක ආදිය)
- මිනිස් ලොවදී විපාක දුන් පූර්ව කර්ම
- කුසල විපාක සහ විවිධ පින්කම්වල ආනිසංස
මෙම පොත 2012 වර්ෂයේදී ධර්ම දානය පිණිස නොමිලේ බෙදාහැරීම සඳහා අන්තර්ජාල සංස්කරණයක් (buddhistvision.net) ලෙස ද මුද්රණය කර ප්රකාශයට පත් කර ඇත.
වචනයක්...
අප සම්මා සම්බුද්ධ සාසනයෙ හි මහා පිනැති තේජවන්ත මහ රහතන් වහන්සේ නමක් වැඩ සිටිය හ. උන්වහන්සේ නමින් උත්තර නම් විය. මේ උත්තර මහ රහතන් වහන්සේ මීට කල්ප තිස් දාහකට පෙර දී කරන ලද පිංකමක ආනිසංස බලයෙන් සාංසාරික ජීවිතය සුවපත් විය. කල්ප තිස්දහසකට පෙර සුමේධ නමින් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වූහ. උන් වහන්සේ විවේක සුවයෙන් ගසක් මුල වැඩ සිටින අවස්ථාවේ එක්තරා තරුණ ළමයෙක් ලඟ තිබූ ගසකින් කිණිහිරියා මල් තුනක් කඩා ගෙන බොහො ම ගෞරව භක්තියෙන් දොහොත් මුදුනේ තබා බුදුරජාණන් වහන්සේ ගේ ශ්රී පාද මූලයේ තබා පූජා කළේ ය. මේ පූජාමය පින ඔබ වහන්සේ යම් ධර්මයක් අවබෝධ කළේ ද? එම ධර්මය මට ද අවබෝධ කර ගැනීමට ලැබේවා යි ප්රාර්ථනා කරන ලදී.
එදා පටන් මේ බුදු සසුන දක්වා කාලය වර්ෂ ගණනින් නොව කල්ප ගණනින් තිස් දහසක් විය. මේ කාලය තුළ මල් පූජා කිරීමේ පුණ්ය බලයෙන් සතර අපා දුකින් අත් මිදුනේය. දෙව් මිනිසුන් අතර ලබන්නට තිබෙන සකල සම්පත් ලබන ලදී. දීර්ඝායුෂ, නිරෝගී බව, දර්ශණීය ජීවිත, පරිවාර සම්පත් ඇති ජීවිත, උසස් කුල සම්පත්, මහා ධන සම්පත්, දිව්ය මාලිගා, පිනැති දරු සම්පත්, මහා ප්රඥාවන්ත ජීවිත, මහේශාක්ය මහානුභාව සම්පන්න ජීවිත ලැබූ අතර දීප චක්රවර්ති රජකම වරක් ද සක්විති පදවිය වරක් ද ලබන ලදී. එසේ ම රටවල් පාලනය කරන රජකම්, ඇමතිකම් ලැබූ වාර ගණන සීමාවක් නො මැත.
මෙතරම් අනුසස් රාශියක් උත්තර මහ රහතන් වහන්සේ සසරදී ලැබුවේ මල් තුනක් පූජා කිරීමේ ආනිසංසයෙනි. අවසානයේ දී උත්තර කුමරුවා මේ බුදු සසුනේදී පැවිදි වී සිව්පිළිසිඹියා ඤාණ, ෂඩභිඤ්ඤා, ත්රිවිද්යා ලබා උතුම් අරහත්වයට පත් වූ සේක. අරහත්වය දක්වා ම එම පිංකම උත්තර මහ රහතන් වහන්සේට හේතු උපනිශ්රය විය. ”කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම්කිසි කර්මයක් කරන්නේ නම් එයට උරුමකරු වන්නෙමි යි නිරතුරු නුවණින් මෙනෙහි කළ යුතු ය” යනු ඒ බුද්ධ වචනයේ තේරුම යි.
ඉමහත් ශ්රද්ධාවෙන් නුවණින් මේ දහම් පොත සම්පාදනය කළ පූජ්ය රිදියගම සුධම්මාභිවංශ ආයුෂ්මතුන් වහන්සේට තව තවත් උදාර ලෙස ධර්ම දානයන් සපිරීමට නිරෝගී සුව, දීර්ඝායුෂ, රත්නත්රයානුභාව බලයෙන් අභිවර්ධනය වේවා.
“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”
මෙයට පිනැති
නාලයනේ අරියධම්ම ස්ථවිර,
නාලයන ආරණ්ය සේනාසනය,
පන්සියගම.
සංඥාපනය
“කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතායාති”
මහා කාරුණික අසරණ සරණ ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සත්වයන් හීන ප්රණීත ලෙස උසස් පහත් ලෙස බෙදනු ලබන්නේ කර්මය විසිනි. කර්මය පිළිබඳ සම්බුදු දහමේ දේශිත ධර්ම පාඨ බොහෝ ඇතත් මෙහිදි මා උත්සහ ගත්තේ සරල බසින් කථා පුවත් අනුසාරයෙන් කර්ම විපාක පැහැදිලි කිරීමට ය. කරන ලද කර්මයේ විපාකයෙන් ගැලවීමට හැකි කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ මනුෂ්යයෙක් හෝ අමනුෂ්යයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්රහ්මයෙක් හෝ මේ තුන් ලෝකයේ ම නැත. මනුලොව සිට අකනිටා බඹලොව දක්වා මේ සක්වල පුරා අබ ඇට පිරවූයේ නමුත් ඒ අබ ඇට ගණනට වඩා විශ්වයේ තවත් සත්වයන් වාසය කරන සක්වලවල් ඇති බව ධර්මයේ සඳහන් වේ. නමුත් කර්මයේ විපාකයෙන් බේරීමට හැකි පුද්ගලයෙකු නම් මේ විශ්ව ලෝක ධාතුව තුළ ම නැත.
මෙම ධර්ම ග්රන්ථයේ කර්මය පිළිබඳ විස්තර ස්වල්ප නමුත් කර්ම විපාකය පිළිබඳ බොහෝ විස්තර ගැබ්කොට දක්වා ඇත. මුලින්ම කර්මය යන්න පැහැදිලි කොට පසුව මෙහි කුසල කර්ම විපාක දක්වන ලදි. කුසල කර්ම විපාක නම් කුසලානිසංසයෝ ය. ඒ යටතේ කුසල කර්ම හැටකට ආසන්න ප්රමාණයක් ද, කුසල විපාක හෙවත් ආනිසංස 354 ක් ද දක්වන ලදි. මේ තුළින් මා සත්පුරුෂ ඔබට කීමට බලාපොරොත්තු වූයේ, පැහැදුන සිතින් නුවණ යොදා තැම්පත් මනසින් කරන ලද කුඩා නමුත් පිංකම මහත් සැප විපාක ගෙන දෙන බව ය. එසේම මෙවැනි පිංකම් කරන සත්පුරුෂයින් ගේ සිත්වලට නව ජීවයක් ලබා දීමට ද අපේක්ෂා කළෙමු. එය එසේම සිද්ධ වේවා!
මේ ග්රන්ථයෙහි දෙවනුව පෙන්වා ඇත්තේ අඳුරු විපාක පිළිබඳව වේ. අඳුරු විපාක නම් අකුසල කර්මයක් හේතුවෙන් ගෙන දෙන දුක් විපාක වේ. ඒ යටතට අට මහ නිරයට යෑමට සිදුවන කර්ම හා ඉන් ගෙන දෙන දුක් විපාක දක්වා, නිමි රජු දුටු ඔසුපත් නිරයන් 15 ක් හා එහි යෑමට සිදුවන හේතු සහිතව දක්වන ලදි. ඉක්බිති සංවේග දනවන සුලු වූ අසරණ ප්රේත ප්රේතියන් ගේ කථා කිහිපයක් හා එහි ඉපදීමට හේතු වූ කර්ම සහිතව දක්වන ලදි.
මිනිස් ලොව විපාක දෙන පූර්ව කර්ම 56 ක් දක්වන ලද්දේ අපාය දුක් නො පිළිගන්නා මෝහයෙන් මුළා වී පැටලි සිටින අසරණයන්ට මනුලොවින් කරුණු පෙන්වීමට ය. ග්රන්ථයේ දෙවන කොටස වූ “අඳුරු විපාක” පිළිබඳව කළ දීර්ඝ විස්තරයෙන් මා බලාපොරොත්තු වූයේ, දුෂිත සිතින් කරන ලද ඉතා කුඩා පාපය නමුත් මහත් දුක් විපාක ගෙන දෙන බව කීමට වේ. එසේම අවිද්යා අඳුර හේතුවෙන් පාපයන්හි ඇලී වාසය කරන මිනිසුන් හට සංවේග පහළ වී සුමගට යොමු වේවා යන මෛත්රී සිතිනි.
මෙයට, මෙත්සිතිනි
රිදියගම සුධම්මාභිවංශ හිමි.
නිමලව ආරණ්ය සේනාසනය
කිරින්ද - තිස්සමහාරාමය.
දිනය - 2547
2004-01-20
පුණ්යානුමෝදනාව
මෙම ග්රන්ථය සම්පාදනය කළා වූ පූජ්ය රිදියගම සුධම්මාභිවංශ හිමියන්ටත් එය පළමුව මුද්රණය කර බෙදාහැරියා වූ එම පිරිසටත්, වාර කිහිපයක දී මෙම ග්රන්ථයේ වටිනාකම අවබෝධ කර ගනිමින් නැවත මුද්රණය කරමින් ධර්ම දානයට සහභාගි වූ ඒ සියළු පිරිසටත්, මෙවර මුද්රණය කිරීමට නන් අයුරින් උදව් උපකාර කළා වූ එම පිරිස හා ඔවුන්ගේ දෙමව්පියන් හා පවුලේ සියළු දෙනාටත්, ගුරුවරු නෑදෑ හිත මිතුරන්, මියගිය ඥාතීන් ඇතුළු සියළු දෙනාටත්, මෙම ග්රන්ථය කියවා බලා පිංකම්වල යෙදෙන්නා වූ එම පින්වත් පිරිසත්, අපට මෙම දහම් මාර්ගය අවබෝධකර ගැනීමට මූලිකව මහෝපකාරී වූ කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ ද, අපවත් වී වදාළ ගරු රේරුකානේ චන්දවිමල මහා නාහිමියෝ හා ගංගොඩවිල සෝම හිමි ඇතුළු ගරුතර ආර්ය මහා සංඝරත්නයට ද උතුම් චතුරාර්ය සත්යය අවබෝධ කර ගැනීමට පිළිපන් සිව්වනක් පිරිස හා සියළු සම්යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට ද මෙම ග්රන්ථය මුද්රණය කර බෙදාහැරීමෙන් අත්වන්නා වූ ධර්ම දානමය පුණ්ය කර්මය එක සේ අනුමෝදන් වී අති භයංකාර මේ සසර ගමනින් වහ වහා අප සියළු දෙනාට එතෙර වීමට උතුම් චතුරාර්ය සත්යය අවබෝධ කර ගැනීමටත් මේ සියළු කුසල කර්මයන් හේතු වාසනා වේවා !
සාදු ! සාදු !! සාදු !!!
දිනය - 2556
2012-12-12
නමෝ බුද්ධාය
මෙම ග්රන්ථයේ වටිනාකම අවබෝධ කර ගත් අප විසින් මෙම ග්රන්ථය නැවත පරිගණකගත කොට පිටපත් දහසක ධර්ම දානමය පිංකමකට සහභාගි වුනෙමු. මෙම මුද්රණයේ දී අප විසින් ”අඳුරු විපාක” කොටස ග්රන්ථයේ මුලට ගත් අතර ”කුසල විපාක” කොටස පසුව දක්වන ලදි. සංසාරය හා මිත්යා දෘෂ්ටිය යන පරිච්ඡේද මෙම මුද්රණයේ දී එක්කල බව ද දන්වමු. මෙම ග්රන්ථයේ අන්තර්ජාල සංස්කරණය අප විසින් පවත්වාගෙන යනු ලබන වෙබ්අඩවියට ද ඇතුලත් කරන ලදි. පිං කැමති පිරිස් මෙම ග්රන්ථය වඩා වඩාත් ප්රචාරය කරත්වා! කුසල ධර්මවලම යෙදෙත්වා !