අසිරිමත් බුදුමග පියසටහන් - නාඋයන අරියධම්ම හිමි චරිතාපදාන.pdf

කතෘ :
නාඋයනේ අරියධම්ම හිමි
ප්‍රකාශිත වර්ෂය :
2017
මුද්‍රිත වර්ෂය :
2017
පිටු ගණන :
283
බාගත කිරීම් ගණන :
30,617
වෙබ් අඩවියට එක් කළ දිනය :
2017-11-17
ගොනුවේ ප්‍රමාණය :
25 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 142

අසිරිමත් බුදුමග පියසටහන් යනු අතිපූජ්‍ය නාඋයනේ ශ්‍රී අරියධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ස්වයං ලිඛිත ආත්ම සහතිකය සහ චරිතාපදාන සටහන් ඇතුළත් කෘතියකි. නාඋයන ආරණ්‍ය සේනාසනවාසී ශිෂ්‍ය පිරිස විසින් මෙම කෘතිය සම්පාදනය කර ප්‍රකාශයට පත් කර ඇත.

මෙහි උන්වහන්සේගේ ළමා විය, පැවිදි උපසම්පදාව, විවිධ ආරණ්‍යවල ගත කළ තපෝවෘද්ධ ජීවිතය, උන්වහන්සේ වැඩූ භාවනා කමටහන් හා අත්දැකීම්, පාරමී පිරීම හා බෝසත් ප්‍රාර්ථනා ආදී විස්තර උන්වහන්සේගේ ම අත්අකුරින් ලියැවුණු මුල් සටහන් සහ ඡායාරූප සමඟ ඉදිරිපත් කර තිබේ.

නා උයන ආරණ්‍ය සේනාසනය මඟින් 2017 වසරේදී නොමිලේ බෙදාහැරීම පිණිස පළමු වරට මුද්‍රණය කරවා ඇත.

පූජා වේවා...!

සැදැහැ දන යහපත පිණිස වූ “අසිරිමත් බුදුමග පියසටහන්” බෝසත් ආත්ම සහතික විස්තරය උතුම් තුනුරුවනට පිදූ පිළිවෙත් පූජාවක් වේවා..! * * * * * “බුද්ධකාරක ධර්ම සියල්ල සම්පූර්ණ කොට අනාගතයෙහි මම ද සම්මා සම්බුද්ධත්වයට පත් වෙමි.” ලෝ සතට සෙත සදන මහබෝසත් සදා පූජනීය අප ආචාර්යෝත්තම වූ නා උයනේ ශ්‍රී අරියධම්ම මාහිමිපාණන් වහන්සේට උතුම් ගුරු පඬුරක් විලස ද පූජා වේවා..!

හැඳින්වීම.

ලක් බුදු සසුනෙහි මෑත කාලයෙහි පහළ වූ පර්යාප්ති ප්‍රතිපත්ති සාසනයන් තුළින් තම උතුම් ප්‍රව්‍රජ්‍යා ජීවිතය ඒකාලෝකමත් කර ගනිමින් ආත්මාර්ථ මෙන්ම පරාර්ථ වූ ලෝක සාසනික මෙහෙවරෙහි ද කැප කළ දිවියෙන් යුතුව ලක් බුදු සසුනෙහි මුදුන් මල්කඩක්ව වැඩසිටි උතුම් සංඝ පීතෘවරයන් වහන්සේ අපගේ ආචාර්යෝත්තම අතිපූජනීය නා උයනේ ශ්‍රී අරියධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේයි.

පූජනීය ස්වාමීන් වහන්සේ ලද සුපින්බර දිවිය ළදරු කල සිටම උතුම් සංසාර ප්‍රාර්ථනාවන්ට අනුව බුදු මගට අනුයාතව ගෙවා උතුම් ප්‍රව්‍රජ්‍යාවට ද පත්ව කල්‍යාණ මිත්‍ර උතුමන් ඇසුරෙහි පිරූ සම්බුද්ධත්ව පාරමී කිස හේතුවෙන් ගෞතම මුනීන්ද්‍ර සර්වඥ සාසනයෙහි ශ්‍රේෂ්ඨ සම්බුද්ධාංකුර බුද්ධ බෝධිසත්වයන් වහන්සේ නමක් ලෙසින් දෙස් විදෙස් බෞද්ධාබෞද්ධ සුවිසල් වූ සැදැහැ ජනයාගේ අපමණ වූ ගරු බුහුමනට වන්දනීය පූජනීයත්වයට පත්ව වැඩ සිට නිමා කළද මෙම අත් බැව්හි පාරමී කිස සර්වඥතා ඥානය ප්‍රතිවේධ කරන තෙක් නොකඩ කොට පිරීමට ඇති හෙයින් සමතිසක් පෙරුමන්, නැවත ද බඹ ලොවට වැඩම කොට මනු ලොවින් වසරක් සපිරී ඇත.

එදා දෙව් ලොවින් මනුලොවට බට මේ පුණ්‍යවන්ත කුල කුමරුවාණෝ ප්‍රාර්ථනා පරිද්දෙන් නිසි වයස එළැඹී පසු ගෘහාභිනිෂ්ක්‍රමණය කරමින් නා උයන ආරණ්‍යයෙහි එවකට වැඩසිටි පූජනීය විගොඩ ශ්‍රී බෝධිරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පැමිණ එතැන් පටන් සසුන් පිළිවෙත්හි නොපමාව යෙදුණහ.

පූජනීය විගොඩ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇසුරෙහි මූලික බණ දහම් උගෙන පසුව ගල්දූව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමයේදී අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංසාභිධාන මහා ස්වාමීන් වහන්සේ වෙත බාර කළෙන් ඒ පූජනීය පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ හා මාතර ශ්‍රී ඤාණාරාම මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන තත්කාලීන කල්‍යාණ මිත්‍ර ගුරු උතුමන් වහන්සේලා ඇසුරෙහි උතුම් ප්‍රව්‍රජ්‍යා සම්පත්තියට ද පත් වූහ.

පර්යාප්ති ධර්මය ලෙස සැබෑ ලොව්තුරු දහම පෙළ වශයෙන් ද විස්තරාර්ථ විවරණ ලෙසින් ද ත්‍රිපිටකය මෙන්ම අටුවා, ටීකා හා සංගෘහිත ග්‍රන්ථ තුළින් ද ඉතාමත් ඉහළ අවබෝධයක්, පරිචයක් ලැබූහ. තත් ශාස්ත්‍රානුගත අන්‍ය උගතුන් විසින් ද මෑත කාලයේ ලක්දිව පර්යාප්ති සාසන ධර්මාවබෝධයෙහි ඉහළම ස්ථානයෙහි ලා පූජනීය නා උයනේ මහා ස්වාමීන් වහන්සේ හඳුන්වා දෙමින් එහි ප්‍රාමාණිකත්වය පෙන්වා දී ඇත.

එමෙන්ම පූජනීය මාහිමිපාණන් වහන්සේ වැඩූ ප්‍රතිපත්ති ධර්ම සම්භාරය පිළිබඳවත් එමගින් ප්‍රතිවේදිත ධර්ම ක්‍ෂණයන් පිළිබඳවත් ලෝකයා නිසිලෙස නොදත්මුත් බාහිර දර්ශනය, හැසිරීම, දේශනා විලාශය යනාදී වූ තම තමන්ට ප්‍රත්‍යක්ෂ යම් යම් කරුණු මත විටෙක පූජනීය මාහිමිපාණන් වහන්සේට “රහතන් වහන්සේ නමක්”, “මාර්ග ඵලලාභී උතුමන් වහන්සේ නමක්” ආදී වූ විවිධ තත්වයන් ආරෝපණය කළහ.

එහෙත් පූජනීය මාහිමිපාණන් වහන්සේ වැඩසිටි අවදිය තුළ දී එක්තරා දායක පින්වතෙකු විසින් කරන ලද ඉල්ලීම මත තම ජීවිතය හා සබැඳි තොරතුරු සටහන් කර තැබූහ. තම ශිෂ්‍යවරයන් වහන්සේලාට ද ඒ ගැන පවසා සිටියේ “මගේ ජීවිතයේ විශේෂ කරුණු සටහන් කර තබන බවත් ජීවත් වන කාලයෙහි එය ප්‍රසිද්ධියට පත් නොකරන බවත්” ය.

එලෙස පූජනීය මාහිමිපාණන් වහන්සේගේ උත්තරීතර බෝසත් ජීවිතය තුළ මෙතෙක් කලක් ඉදිරිපත් නොවූ සුවිශේෂ කරුණු වශයෙන් තමන් වහන්සේ ප්‍රගුණ කළ භාවනා ප්‍රතිපත්තීන් හා තමන් වහන්සේ එමගින් ප්‍රතිවේධ කරගත් ධර්ම ක්‍ෂණයන්, භාවනා ක්‍ෂණයන් කවර ආකාර වී ද යන බැව් යම් පමණ හෝ දැන ගැන්මට පවතින එක ම සාධකය එම ස්වයං ලිඛිත සටහන් පමණි.

එම සටහන් අතර පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ලියා ඇති “සාසනික පැවිදි ජීවන ගමනක පිය සටහන්” යන ජීවන තොරතුරුත්, උතුම් වූ භාවනා පිළිවෙත් මග වැඩීමෙන් ලබන ලද දුර්ලභ වූ අසිරිමත් අත්දැකීම් සම්භාරය පිළිබඳවත් අපට වැටහෙන පරිදි කෙටියෙන් කරුණු දැක්වීම මෙහිලා අපගේ අභිප්‍රාය වේ. නැතහොත් කියා නිම කළ නොහැකි අපමණ වූ මාහිමි ගුණ කඳ කීමක් හෝ පූජනීය මාහිමිපාණන් වහන්සේ සතු වූ භාවනා ශක්තීන් ගැන සැබෑ ලෙසින් ම අප නොදන්නා බැවින් ඒ පිළිබඳ සම්පූර්ණ ලෙස විවරණය කිරීමක් ද මෙහි දී සිදු නොවන බව සිහිපත් කරමු.

එය ද පූජනීය මාහිමිපාණන් වහන්සේගේ සුනිමල ලෝක ශාසනික සේවයට, පරාර්ථ මෙහෙවරට උපනිශ්‍රය වී, කියවන ලෝ දනන් සිත් එපමණකට සීමා නොවී වත්මනෙහි පවා මෙවන් උත්තම බුද්ධාංකුරයන් වහන්සේලා වැඩ සිටි බව සිහිපත් කොට එවන් උත්තමයන් වහන්සේ නමක් කල්‍යාණ මිත්‍රත්වයෙන් සේවනය කිරීමට, පයිරුපාසනය කිරීමට, අනුගමනය කරන්නට මෙන්ම ඒ උත්තම චරිතයෙහි වූ මෙවන් ගුණ අද හෝ ඇසීමට කියවීමට ලද අප කෙතරම් පුණ්‍යවන්තයෝ වෙම් දැයි සිතා සිතා ඒ උතුම් ගුණ කඳට තව තවත් ළං වන්ට වීරිය දිරි සිත් පහළව අප්‍රමාදී වීමට මෙම උත්සාහය ද හේතු සේ පවතීවා..!

එමගින් ද සැකසෙන සකල විධ වූ අපමණ කුසල ඵල රාශිය අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ තවත් එක්දහස් අටසියයක් අත් බැව් නිමා කොට සපිරූ සමත්‍රිංශත් පාරමී ධර්ම සම්භාරය තුළින් සර්වඥතාඥාන ප්‍රතිවේධය කොට සම්මා සම්බුද්ධත්වයෙන් සැනසී අසංඛ්‍ය ගණන් ලෝක සත්වයන් ද සනසවන ඒ උතුම් බුද්ධ රාජ්‍යය පිණිස හේතු වේවා..!

ශිෂ්‍ය පිරිස,
නා උයන ආරණ්‍ය සේනාසනය.

පිං පැතුම

ලොව ඇසීමට පවා අති දුලබ වූ මෙවන් උත්තම චරිතයක් හා ගුණ සමුදායක්, දෙලෝ යහපත, ත්‍රිවර්ග සැප උදාකරගනු පිණිස උපනිශ්‍රය කරගැනීමට කරන උපකාරයක් සේ ලෝවැසි දනන් වෙත ඉදිරිපත් කිරීම නම් වූ මෙම සත්කාර්යය සඳහා

☸ උපදෙස් ලබාදීමෙන් හා නොයෙක් අයුරින් අනුග්‍රහ කළ ථේර - මධ්‍යම - නවක සියලු පූජනීය ස්වාමීන් වහන්සේලාටත්, ☸ මුද්‍රණ කටයුතු සඳහා විශාල ධන පරිත්‍යාගයක් සිදු කළ පිංවතුන් සැමටත්, ☸ පූජනීය අප මාහිමිපාණන් වහන්සේගේ රුව සිතුවම් කළ චිත්‍ර ශිල්පී මහතා හා පවුලේ සැමටත්, ☸ මුද්‍රණාලයාධිපතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයටත්,

සියලු ආකාරයෙන් ආධාර අනුග්‍රහ උපකාර කළ සැමටත්, සදේවක ලෝක සත්වයාටත් වහා සද්ධර්මාවබෝධය පිණිසම මේ උතුම් කුසලය ද හේතු වාසනා වේවා..!

සතං සමාගමෝ හෝතු - යාව නිබ්බාන පත්තියා