අරුණ හා අරුණෝද්ගමන විනිශ්චය. - ග්‍රීසියේ ඤාණදස්සන හිමි.pdf

කතෘ :
ග්‍රීසියේ ඥාණදස්සන හිමි
ප්‍රකාශිත වර්ෂය :
2002
මුද්‍රිත වර්ෂය :
2002
පිටු ගණන :
121
බාගත කිරීම් ගණන :
1,495
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-03-29
ගොනුවේ ප්‍රමාණය :
37 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 61

අරුණ හා අරුණෝද්ගමන විනිශ්චය යනු විනයධර භික්ෂූන් වහන්සේලා උදෙසා අරුණ සහ අරුණෝද්ගමනය පිළිබඳ ත්‍රිපිටක පෙළ, අටුවා, ටීකා හා ප්‍රත්‍යක්ෂමූලක කාලගුණ විද්‍යාත්මක පර්යේෂණ පදනම් කරගෙන පූජ්‍ය ග්‍රීසියේ ඤාණදස්සන හිමියන් විසින් සම්පාදිත විනය විනිශ්චය ග්‍රන්ථයකි.

වස් විසීම, චීවර අධිෂ්ඨානය, විකාල භෝජනය ආදී භික්ෂු විනයෙහි එන බොහෝ විනය කර්ම හා ශික්ෂාපද අරුණෝද්ගමනය හා සෘජුව බැඳී පවතින බැවින්, අරුණ නැගීම සහ අරුණෝද්ගමනය අතර ඇති වෙනස නිවැරදිව වටහා ගැනීම විනයාරක්ෂාවට අත්‍යවශ්‍ය කරුණකි. කතුවරයාණන් විසින් වසර පහකට අධික කාලයක් මුළුල්ලෙහි ශ්‍රී පාද කඳු මුදුන සහ නිමලව අරණ්‍යයේදී අහස නිරීක්ෂණය කරමින් සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තයන් පරිශීලනය කරමින් මෙම විනිශ්චය සකසා ඇත.

මෙහි ප්‍රධාන මාතෘකා අතර:

  • අරුණ යනු කුමක්ද?
  • අරුණෝද්ගමනය යනු කුමක් ද?
  • අරුණෝද්ගමනයේදී සිදු වන දේ
  • අරුණෝද්ගමනය සිදුවීම හා නොසිදුවීම අතර වෙනස
  • අරුණෝද්ගමනය හා කාල-විකාල භෝජන භේදය
  • අරුණෝද්ගමනය හා රැදවල් භේදය
  • විද්‍යාත්මක විස්තරය හා නිගමනය
  • උපග්‍රන්ථ: විනයාලංකාර ටීකා සාකච්ඡාව, රේරුකානේ චන්දවිමල මහානායක හිමියන්ගේ විස්තරය, පබ්බජ්ජා විනිශ්චය ආදිය

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අනුමැතිය සහ අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පෙරවදනක් සහිතව 2002 වසරේදී තිස්ස ප්‍රනාන්දු මහතාගේ ධර්ම දානමය දායකත්වයෙන් මෙම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදාහැර ඇත.

ප්‍රකාශක නිවේදනය

අරුණ හා අරුණෝද්ගමන විනිශ්චය නැමති මෙම ග්‍රන්ථය පූජ්‍ය ගරු ඥාණදස්සන ස්වාමීන් වහන්සේගේ පර්යේෂණ වල ප්‍රතිඵලයකි. මෙය සෑම ස්වාමීන් වහන්සේ නමකටම අත්‍යාවශ්‍ය ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය කියවීමෙන් අරුණ යනු කුමක්ද?, අරුණ උදාවූ බව දැනගන්නේ කෙසේද? යන්න ඉතා පැහැදිලි වේ. එහෙයින් මෙය ස්වාමීන් වහන්සේලාගේ විනය රැකීමෙහිලා ඉතා වැදගත්ය.

මෙම පොත කියවීමෙන් සහ එය ප්‍රායෝගිකව අත්හදා බැලීමෙන් ලබන කුසල් මා මෙලොවට බිහි කළ හා හදා වඩාගත් තල්අරඹගේ මැගිලින් ප්‍රනාන්දු වන මාගේ මවටද, මා කෙරෙහි අසීමිත විශ්වාසයකින් හා පැහැදීමකින් සැමවිටම ක්‍රියා කළ මගේ ඒඩින් ප්‍රනාන්දු වන මාගේ පියාණන්ටද, තරුණ කලම පැවිදි ජීවිතයට එළඹ අකාලයේ අපවත් වූ මා සොයුරු මගේ පූජිත ප්‍රනාන්දුට ද, (පූජ්‍ය ගල්කිස්සේ සුමනරතන හිමි), මා කුඩා කල සිටම දහමට යොමුකල මගේ මෑණියන්ට ද, මා හට ධර්මය කියා දුන් අපවත් වී වදාල ගරු ගල්කිස්සේ සුමංගල හිමි සහ ගරු ගැටමාන්නේ ඥානවිමල හිමියන් ද, මීතිරිගල නිස්සරණ වාසී ගරු පානදූවේ ඛේමානන්ද ස්වාමීන් වහන්සේ, ගරු ධම්මජීව ස්වාමීන් වහන්සේ, ගරු ඥාණදස්සන ස්වාමීන් වහන්සේ සහ අපවත් වී වදාල ගරු ධම්මනියන්ති හිමි ඇතුලු අනිකුත් ස්වාමීන් වහන්සේලා සහ අනිකුත් ඥාතීන්ද, අනුමෝදන් වෙත්වායි පතමි.

මෙම පොත කියවන ඔබ වහන්සේ එය භාවිතා කළ පසු, තව හඳුනන ස්වාමීන් වහන්සේලා අතටද පත් කළහොත් මැනවැයි යෝජනා කරමි. එයින් ධර්ම දානයට ඔබ වහන්සේද හවුල්කරුවෙකු වන්නේහිය.

මෙම ධර්ම දානයේ පිනින් සසර වසනා තුරු නිදුක් නිරෝගීව වාසය කිරීමටත්, නිවන් අවබෝධය පිණිසත් වේවායි පතමි.

28.06.2001
තිස්ස ප්‍රනාන්දු
519/2B,
ඇල්විටිගල මාවත,
කොළඹ 05.

පෙර වදන

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවෙහි ප්‍රව්‍රජ්‍යාපසම්පදාව ලබා මීතිරිගල නිස්සරණ වන සෙනසුන සහ මීතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතන වාසී පූජ්‍ය ග්‍රීසියේ ඥාණදස්සන ස්වාමීන් වහන්සේ ස්ථිර සාර ශාසනික ප්‍රතිපත්තියෙහි පිහිටා සිටිමින් ධර්ම විනය ඥානයේ ගැඹුරට බැසගත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් බව ප්‍රතිපත්ති ගරුක සියලු දෙනා අවිවාදයෙන් පිළිගෙන ඇත. පූජ්‍ය ග්‍රීසියේ ඥාණදස්සන ස්වාමීන් වහන්සේ විසින් සියලු ත්‍රිපිටක පෙළ අටුවා ටීකා ග්‍රන්ථ කියවීමෙන් ද නිරීක්ෂණයෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ද ලබාගත් සාධක කරුණු අනුව සම්පාදනය කළ අරුණ හා අරුණෝද්ගමන විනිශ්චය සම්බන්ධ පොතක් ගැන 2000-06-18 වෙනි දින ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේදී පැවති වාර්ෂික සංඝ සම්මේලනයේදී ඉදිරිපත් වූ අදහස යෝගාශ්‍රමීය අධිකරණ මණ්ඩලයේ සාකච්ඡාවට භාජනය කරනු පිණිස තීරණය විය.

2000-08-19 වෙනි දින කොළඹ, බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමයේදී රැස්වූ අධිකරණ මණ්ඩලය විසින් අරුණ හා අරුණෝද්ගමන විනිශ්චය ගැන දීර්ඝ සාකච්ඡාවක් පවත්වන ලදුව අතිරේක විංශත් වර්ගික කාරක සභාවට යොමු කෙරිණි. 2000-08-20 වෙනි දින යථෝක්ත ආශ්‍රමයේදීම රැස්වූ කාරක සභාව මගින් තීරණය වූයේ ඉහත නම් සඳහන් අරුණ හා අරුණෝද්ගමන විනිශ්චය පර්යේෂණ ග්‍රන්ථය ගැන විනය ධාරී යෝගාවචර භික්ෂූන් වහන්සේලාගේ අදහස් විමසීම පිණිස යෝගාශ්‍රම සංස්ථානුබද්ධ සියලුම සේනාසන වෙත එම පොත යොමුකරන ලෙසය.

එසේ හෙයින් මෙම අරුණ හා අරුණෝද්ගමන විනිශ්චය පොත සාවධානව කියවා විනයානුකූලව බුද්ධිමන්ත අදහස් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනුයේ ශ්‍රී : ක : යෝ : විං : කාරක සභාවේ අණ පරිදි ශාසනික ගෞරවයෙනි.

(සියලුම ලියුම්
”අරුණ හා අරුණෝද්ගමන විනිශ්චය”
මාතෘකාව සහිතව නාඋයණ අරණ්‍යයේ
ලිපිනයට යොමුකළ මැනවි.)

මෙයට මෙත්සිති,
නාඋයනේ අරියධම්ම
ප්‍රධාන ලේඛකාධිකාරී ස්ථවිර,
නාඋයණ අරණ්‍ය සේනාසනය,
මහකෙළිය,
මාස්පොත 60344 (KG) (S).

ප්‍රස්තාවනා

අරුණ හා අරුණෝද්ගමනය පිළිබඳ මේ ග්‍රන්ථයේ අඩංගු වන තොරතුරු රැස් කරන ලද්දේ පෞද්ගලික භාවිතයට මිස ප්‍රසිද්ධ කිරීමට නොවේ. එහෙත් වෙනත් ස්වාමීන් වහන්සේලා මේ තොරතුරු ගැන ලොකු සැලකිල්ලක් දැක්වූ බැවින් ද 2000-8-20 දිනයේදී ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමීය සංඝ කාරක සභාව ඒවා පොතක් වශයෙන් ප්‍රසිද්ධ කිරීමට තීරණය කළ බැවින් ද මේ තොරතුරු සියල්ල ප්‍රසිද්ධ කිරීම මාගේ යුතුකමක් විය.

මෙම පොත සඳහා පදනම් පර්යේෂණය සම්පූර්ණ කරගැනීමට අවුරුදු 5 කට වැඩි කාලයක් ගත විය. මේ පර්යේෂණයට පහත සඳහන් කරුණු අඩංගු විය:

• අදාළ වූ ත්‍රිපිටක පෙළ අටුවා ටීකා පොත්පත් අධ්‍යයනය. • අදාළ වූ වෙනත් සංග්‍රහ පොත්පත්, එනම් : මහාවංශ, ථූපවංශ ආදි පැරණි ග්‍රන්ථ ද, සාධිකාර වූ නියමිත විද්‍යාත්මක විශ්වකෝෂ හා මාලිමා ශාස්ත්‍ර අත්පොත් ආදී නවීන ග්‍රන්ථ ද අධ්‍යයනය කිරීම. • ලංකාවේ ස්ථාන දෙකකදී අලුයම පටන් හිරු උදාවන තුරු අහස නිරීක්ෂණය කිරීම තුළින් ප්‍රත්‍යක්ෂමූලක වූ දත්තයන් එකතු කිරීම. ඒ ස්ථාන දෙක නම්: ලංකාවේ ගිනිකොන සමුද්‍ර තීරයෙහි පිහිටි නිමලව අරණ්‍ය සේනාසනය සහ ලංකාවේ ඉතා උස් තැනක පිහිටි ශ්‍රී පාද කඳු මුදුනය. • කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධිකාරී මණ්ඩලයෙහි කාරුණික උපකාරයෙන් ඒ ප්‍රත්‍යක්ෂමූලක දත්තයන් පරික්ෂා කිරීම. • වෙනත් ස්වාමීන් වහන්සේලා විසින් අහස නිරීක්ෂණය කිරීම තුළින් ප්‍රත්‍යක්ෂමූලක වූ දත්තයන් එකතු කිරීම.

අරුණ හා අරුණෝද්ගමනය පිළිබඳ මේ පර්යේෂණය කුමක් නිසා කරන ලද්දේද? විනයාලංකාර ටීකාව දුන් පිළිතුර මෙහි ලා සටහන් කරනු වටී. ඒ මෙසේය :

පාලි ”ඉමිස්සා අරුණකථාය මහාවිසයභාවතො. කථං? උපොසථිකා උපාසකා ච උපාසිකායො ච අරුණුග්ගමනං තථතො අජානන්තා අනුග්ගතෙයෙව අරුණෙ උග්ගතසඤ්ඤාය ඛාදනීයං වා ඛාදන්ති, භොජනීයං වා භුඤ්ජන්ති, මාලාගන්ධාදීනි වා ධාරෙන්ති. තතො තෙසං සීලං භිජ්ජති. සාමණෙරා තථෙව විකාලභොජනං භුඤ්ජිත්වා සීලවිනාසං පාපුණන්ති.

සිංහලානුවාදය ”අරුණ පිළිබඳ මේ කථාව මහත් විසය බැවිනුයි. කෙසේද? පෝය දිනයේ සිල් සමාදන් වූ උපාසක-උපාසිකාවෝ අරුණෝද්ගමනය (අරුණුග්ගමනං) ඇති සැටියෙන් නො දන්නාහු අරුණ නොනැගි කල්හිම අරුණ නැගුනේ යැයි සංඥාවෙන් කෑ යුතු දේ හෝ කති, බුදිය යුතු දේ හෝ බුදිති, මල්දම් සුවඳ ආදිය හෝ දරති. එයින් ඔවුන්ගේ ශීලය බිඳෙයි. එසේම සාමණේරවරු විකාල භෝජනය වළඳා ශීල විනාශයට පැමිණෙති.

නිස්සයපටිපන්නකා භික්ඛූ ආචරියුපජ්ඣායෙහි විනා බහිසීමෙ චරන්තා නිස්සයප්පස්සම්භනං පාපුණන්ති. අන්තොවස්සෙ භික්ඛූ උපචාරසීමතො බහි ගච්ඡන්තා වස්සච්ඡේදං. තෙචීවරිකා භික්ඛූ අබද්ධසීමායං චීවරෙන විප්පවසන්තා නිස්සග්ගිය පාචිත්තියං. තථා සත්තබ්භන්තරසීමායං. සහසෙය්‍යප්පහොනකට්ඨානෙ අනුපසම්පන්නමාතුගාමෙහි සහ සයන්තා පාචිත්තියං. තථා යාවකාලිකං භුඤ්ජන්තා භික්ඛූ. පාරිවාසිකාදයො වත්තං නික්ඛිපන්තා රත්තිච්ඡේදං.

නිස්සය පිළිපන් භික්ෂූහු ආචාර්ය උපාධ්‍යාය වහන්සේලාගෙන් වෙන්ව සීමාවෙන් පිටත හැසිරෙන්නාහු නිස්සය කැඩීමට පැමිණෙති. වස් කාලය තුළ උපචාර සීමාවෙන් පිටත වඩින්නාවූ භික්ෂූහු වස් කැඩීමට පැමිණෙති. තේචීවරික භික්ෂූහු අබද්ධ සීමාවේ සිවුරෙන් වෙන්ව වාසය කරමින් නිස්සග්ගිය පාචිත්තිය ඇවැතට පැමිණෙති. සත්තබ්භන්තර සීමාවේ ද එසේම ය. සහසෙය්‍යාව පොහොනා ස්ථානයේ අනුපසම්පන්නයන් සමග හෝ ස්ත්‍රීන් සමග හෝ සයනය කරමින් පාචිත්තිය ඇවැතට පැමිණෙති. යාවකාලික දේ වළඳන්නාවූ භික්ෂූහු ද එසේම යි. පිරිවෙස් ආදිය සමාදන් වූ භික්ෂූහු වත නික්ෂේප කරමින් රාත්‍රි-විච්ඡේදයට පැමිණෙති.

එවමාදි-අනෙකාදීනවසම්භවතො ලජ්ජීපෙසලානං භික්ඛූනං තථතො අරුණුග්ගමනස්ස ජානනත්ථං වුත්තා’ති දට්ඨබ්බං”.

මේ ආදි වූ නොයෙක් ආදීනව හේතුවෙන් ලජ්ජී පේසල භික්ෂූන්ට අරුණෝද්ගමනය ඇති සැටියෙන් දැනගැනීම සඳහා අරුණ පිළිබඳ මේ කථාව කියන ලදි යැයි දත යුතුයි.” (වින.අ.ටී. 1.0023)

ඇත්ත වශයෙන් කියතොත් විනය පිටකයෙහි ’අරුණ’ නොව, ’අරුණෝද්ගමනය’ යනු ඇවැත් විනිශ්චය සඳහා ප්‍රධානතම මිම්මය. උදාහරණ වශයෙන් මෙහි ලා නිදර්ශන දෙකක් දැක්විය හැක. එනම්:

පාලි 1. ”සහ අරුණුග්ගමනා [චීවරං] නිස්සග්ගියං හොති.”

සිංහලානුවාදය 1. ”අරුණෝද්ගමනය සමග [සිවුර] නිසඟි වෙයි.” (පාරා.506)

2. ”විකාලො නාම : මජ්ඣන්තිකෙ වීතිවත්තෙ යාව අරුණුග්ගමනා.” 2. ”විකාලය නම් : මධ්‍යාහ්නය ඉක්ම ගිය කල්හි සිට අරුණෝද්ගමනය වන තුරු.” (පාවි.i.240)

තව උදාහරණ හා ’අරුණ හා අරුණෝද්ගමනය අතර වෙනස’ පිළිබඳ විස්තර මේ පොතේ මතු පරිච්ඡේදයන්හි දක්වනු ලැබේ.

එහෙයින් පණ්ඩිතයන් විසින් නැවත නැවත පෙර පසු කී දේ අවුල් නොකොට මෙනෙහි කළයුතු. මෙසේ මෙනෙහි කොට අරුණෝද්ගමනය සම්බන්ධ වූ ශික්ෂාපදයන්හි වැරදි සංඥාව හා සැකය සිඳ විසාරද විය යුතුය. කුමක් නිසාද යත්? විනයෙහි අරුණෝද්ගමනය සම්බන්ධ වූ සෑම ඇවැතක්ම ’අචිත්තකයක්’ ද ’නොසඤ්ඤාවිමොක්ඛයක්’ ද වන බැවිනි. ’අචිත්තකයක්’ යනු චේතනාවක් හෝ දැනීමක් නැතුව ඒ ඒ ශික්ෂාපදය කැඩුවොත් ඇවැතක් සිදුවීමය. ’නොසඤ්ඤාවිමොක්ඛයක්’ යනු වැරදි සංඥාවක් හෝ සැකයක් ඇතුව ඒ ඒ ශික්ෂාපදය කැඩුවොත් ඇවැතෙන් නොමිදීමය. උදාහරණ වශයෙන් මෙහි විකාල භෝජන ශික්ෂාපදය දැක්විය හැක:

පාලි ”විකාලො නාම : මජ්ඣන්තිකෙ වීතිවත්තෙ යාව අරුණුග්ගමනා.

සිංහලානුවාදය ”විකාලය නම් : මධ්‍යාහ්නය ඉක්ම ගිය කල්හි සිට අරුණෝද්ගමනය (අරුණුග්ගමනා) වන තුරු.

විකාලෙ වෙමතිකො ... භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. විකාලයෙහි සැක ඇතියේ ... බුදී නම් පචිති ඇවැත් වේ.

කාලෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. කාලයෙහි සැක ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.

විකාලෙ කාලසඤ්ඤී ... භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. විකාලයෙහි කාල සංඥා ඇතියේ ... බුදී නම් පචිති ඇවැත් වේ. කාලයෙහි විකාල සංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.” (පා.චි.i.240)

මෙලෙස, අරුණෝද්ගමනය වරදවා ගෙන අරුණෝද්ගමනයට කලින් බුදී නම් ඇවැතක් සිදු වේ මයි. එබැවින් විනය ශික්ෂාපද රකින්නවුන් විසින් ’අරුණ’ යනු කුමක්ද, ’අරුණෝද්ගමනය’ යනු කුමක්ද, ’කාලය’ යනු කුමක්ද ’විකාලය’ යනු කුමක්ද යන නිවැරදි ලෙස ද නිසැක ලෙස ද දැන සිටිය යුතුය.

එසේම මේ කාලයෙහි ඇතැම් සංඝයා වහන්සේලා අතර අරුණ, පැවිද්ද හා උපසම්පද සම්බන්ධව විවිධ මත පවතින හෙයින් මෙම පොතේ උපග්‍රන්ථයෙහි ඇතුළු කළ ’පබ්බජ්ජා විනිශ්චය’ යන විනිශ්චයත් නිවැරදි හා නිසැක ලෙස ද දැන ගැනීම සුදුසු ය.

”විසුද්ධත්ථාය සීලස්ස - භික්ඛුනං පියසීලිනං කතාරුණකථා එසා - න සාරම්භාදිකාරණා.

තස්මා සුවිට්ඨධාරෙත්වා - යුත්තං ගණ්හන්තු සාධවො. අයුත්තඤ්ච ඡඩ්ඩෙන්තු - මා හොන්තු දුම්මනාදයො’ති”.

”දබර වීම ආදී හේතු නිසා නොව - ප්‍රියශීලී භික්ෂූන්ගේ ශීලය පිරිසුදු කිරීම සඳහා - අරුණ පිළිබඳ මේ කථා කියන ලදි.

එහෙයින්, සත්පුරුෂයෝ - මනාසේ විමසා බලා යුතු දේ ගනිත්වා - අයුතු දේ ඉවත දමත්වා. නොසතුටු සිතැත්තෝ - ආදීහු නො වෙත්වා.” (වින.අ.ටී 1.0031)

චක්ඛුමන්තො දක්ඛන්තු!
මීට ශාසනස්පීතිකාමී,
ග්‍රීසියේ ඥාණදස්සන හිමි.

2544-2001
මීතිරිගල
නිස්සරණ වනයේදී ය.