අමා බින්දු - මාතර ඥානාරාම හිමි ගුණසමුරු.pdf

කතෘ :
මාතර ඥානාරාම හිමි ගුණසමරුව
ප්‍රකාශිත වර්ෂය :
2018
මුද්‍රිත වර්ෂය :
2018
පිටු ගණන :
291
බාගත කිරීම් ගණන :
4,203
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-10-17
ගොනුවේ ප්‍රමාණය :
4.8 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 146

අමා බින්දු යනු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය, ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය සහ මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වසරක් පිරීම (ගුණානුස්මරණය) නිමිත්තෙන් ප්‍රකාශයට පත් කරන ලද අගනා ගුණ සමරු ග්‍රන්ථයකි.

මෙහි අතිපූජ්‍ය මාහිමියන්ගේ ජීවිත තොරතුරු, උන්වහන්සේගේ ම අතින් ලියැවුණු ජීවිත සටහන්, ධර්ම දේශනා හා ශාසනික මෙහෙවර පිළිබඳ සම්භාවනීය ස්වාමීන් වහන්සේලා සහ විද්වතුන් විසින් ලියන ලද ලිපි ලේඛන රැසක් ඇතුළත් වේ. මීට අමතරව භික්ෂු බෝධි හිමි ආදී දෙස් විදෙස් හිමිවරුන් සහ ගිහි ශ්‍රාවකයන්ගේ අදහස් (My Impressions) මෙන්ම ඓතිහාසික ලේඛන කිහිපයක් ද උපග්‍රන්ථ වශයෙන් අඩංගු කර ඇත.

ප්‍රධාන අන්තර්ගතය:

  • අභිනන්දන - මහානායක හිමිවරුන්ගේ විශේෂ පණිවුඩ
  • මාහිමි දිවි පවත - චරිතාපදාන සටහන් හා මගේ ජීවිත සටහන්
  • මා දුටු හිමිපාණෝ - ගිහි පැවිදි උතුමන්ගේ මතක සටහන්
  • My Impressions - ඉංග්‍රීසි බසින් ලියැවුණු ලිපි
  • උපග්‍රන්ථය - ඇදුරු පරපුර, සංගීති පත්‍රය, වස් විසූ තැන් සහ ධර්ම ශාස්ත්‍රීය කෘති නාම ලේඛනය

විශේෂ පණිවුඩය.

සර්වඥයන් වහන්සේ විසින් පන්සාළිස් වසරක් තුළ නොයෙක් තන්හි නොයෙක් ආකාරයෙන් දේශිත වූ ශ්‍රී සද්ධර්මය පැවැතියේ විසිරුණු මිණි රුවන් රැසක් ලෙසිනි. ප්‍රථම සංගායනාවේදී ඒ පර්යාප්ති ධර්මය එක්තැන් කොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රහතුන් විසින් සැලසුම් කරනු ලැබීමේ අනුත්තර සිද්ධිය ඉතා පැහැදිලිය.

තුන්වැනි සංගායනාවේ ප්‍රමුඛ වූ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ බුදු සසුන රැකගැනීම සඳහා බඹ ලොවින් සැව මනු ලොව පහළ වූ සේක් රහතුන්ගේ ආරාධනයෙනි.

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රනෙතෘ වූ අති ගරු මහෝපාධ්‍යාය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ යුගයේ වැටීගෙන යන බුදු සසුන බේරාගැනීම සඳහා කිසිවකුගේත් ආරාධනාවක් නැතිව බඹ ලොවින් වැඩි සේක් වැනි යයි මා සලකන්නේ උන්වහන්සේගේ ධර්‍ම ජීවිතයේ ප්‍රාතිහාර්ය ස්වරූපය සිහි කරමිනි.

යෝගාශ්‍රම වැඩ පිළිවෙළ පටන්ගෙන ටික කලකට පසු උන්වහන්සේ මට එවූ ලිපියක මෙසේ සඳහන් විය. “ඔව්, බුදු සසුන උදෙසා අපෙන් විය යුතු මෙහෙවර සපුරා ඉටු කිරීමටයි අපේ මේ ආරම්භය. මේ වෙනුවෙන් මගේ ජීවිතය ඕනෑම ගහක් යට කැප කිරීමට මා සූදානම්” උන්වහන්සේගේ මේ උදාර සිත අන්තිම මොහොත දක්වා සචාරෙන් සපිරුණේ විශේෂභාගීය තත්ත්වයෙනි.

අති ගරු මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේගේ මේ අනුත්තර ගමනේ පිවිතුරු විසිතුරු පිය සටහන් හෙළිපෙහෙළි කොට, උන්වහන්සේට ධර්‍ම පූජාවක් වශයෙන්, අපේ යෝගාශ්‍රමීය දරු පෙළේ උගත් වියත් සත්පුරුෂ දරුවාණ කෙනකුන් විසින් සකස් කෙරෙන “ශ්‍රී ඥානාරාම මාහිමි සමරු කලාපය” මට හැඟෙන්නේ රුවන් ආරකින් ගරා ගෙතුණු මිණි රුවන් මාලාවක් ලෙසිනි. මෙය සත්පුරුෂ පෙරහැරට තවත් ආලෝකයක් වේවා!

“සතං සමාගමො හොතු යාව නිබ්බාණ පත්තියා.”

මෙයට අනුයාත,
කඩවැද්දුවේ ජිනවංශ ස්ථවිර
ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය,
ගල්දූව - කහව.
2536/1992 - 12 - 24 වැනි දිනදීය.

පසුබිම

1. පරමාර්ථය:

පොදු වර්‍ෂ 1991 දෙසැම්බර් මස 11 දා අති ගරු පූජනීය මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේට 90 විය සපිරීම නිමිත්තෙන්, තමන්වහන්සේගේ ම කර්මස්ථාන දේශනා පෙළක් ඇසුරෙන් සකස් කොට මුද්‍රණය කරන ලද “සත් අනුපස්සනා” නම් පර්‍යේෂණාත්මක විදර්ශනා භාවනා ග්‍රන්ථය උන්වහන්සේගේ දෝතට පිළිගන්වන ලද අවස්ථාවේදී උන්වහන්සේ මහත් සතුටින් එය භාරගත්හ.

එහෙත් ඉන් සොළොස් මසකට පසුව, අද අති ගරු මාහිමිපාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සේක් නම්, මේ “අමා බින්දු” සංග්‍රහය එබඳු ම සතුටකින් පිළිගනිත්දැයි සැක සහිතය.

ඒ, තමන්වහන්සේගේ ගුණ හුවා දැක්වීම මාහිමිපාණන් වහන්සේ කවදත් රුචි නොකළ හෙයිනි.

තමන්වහන්සේට 80 විය පිරීම නිමිති කොටගෙන වර්ෂ 1981 දී උපහාර ග්‍රන්ථයක් පළ කිරීම සඳහා සියලු කටයුතු සම්පාදනය වී තිබියදී මාහිමිපාණන් වහන්සේ එය නවත්වා, ඒ වෙනුවට තමන්වහන්සේගේ භාවනා උපදෙස් අඩංගු “ගැඹුරු විදර්ශනා භාවනා මාර්ගය” නම් ග්‍රන්ථය මුද්‍රණය කරවීමට අවසර දුන්හ. “සත් අනුපස්සනා” පොතට ද තමන් වහන්සේගේ කෙටි චරිතාපදානයක් ඇතුළු කිරීමට යෝජනා කළ විට ඒ සඳහා අනුමැතිය නොදුන්හ.

වරක් එක් සුප්‍රකට මහ තෙරුන් වහන්සේ නමක් අප මාහිමිපාණන් වහන්සේගේ ජීවන චරිතය ලිවීම සඳහා තොරතුරු ටිකක් ඉල්ලූහ. “ඔවා දැන් ම කරන්න ඕන නැහැ, මගේ ජීවිත කථාව ලියනවාට වඩා භාවනා පොතක් ලිවීම ලෝකයාට ප්‍රයෝජනවත්. ඒ නිසා හැකි නම් භාවනා පොතක් ලියා පළ කරන්න” යැයි පවසමින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.

කරුණු එසේ වතුදු, අප මාහිමිපාණන් වහන්සේ අපවත් වී වසරක් ගෙවීම නිමිති කොටගෙන අප මේ “අමා බින්දු” සංග්‍රහය අද මුද්‍රණ ද්වාරයෙන් එළි දක්වන්නේ ප්‍රධාන වශයෙන් පරමාර්‍ථයන් දෙකක් මුල් කොටගෙනය.

ඉන් එක් පරමාර්‍ථයක් වන්නේ කෘතවේදී වීමයි. පෞද්ගලික වශයෙන් අප බොහෝදෙනකුන් හට ද පොදුවේ සමස්ත බුද්ධ ශාසනයට හා මනුෂ්‍ය වර්ගයාට ද අප මාහිමිපාණන් වහන්සේගෙන් සිදු වූ අමිල සේවය වෙනුවෙන් කළ ගුණ සැලකීමෙහි එක් ආකාරයක් ලෙසින් මේ ගුණ සමරු කලාපය අපි දකින්නෙමු. අප මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් කළ ගුණ සැලකීමේ උසස් ම ආකාරය නම් උන්වහන්සේගේ අවවාද-අනුශාසනා-ආදර්ශ අනුව අපේ ජීවිතය හැඩගස්වාගැනීම බව සත්‍යයකි. එහෙත් මෙබඳු ගුණ සමරුවක් පළ කිරීම ද කතඤ්ඤුතාවෙහි එක් ආකාරයක් බවට විවාදයක් නැත. එසේ ම, මේ ගුණ සමරුව තුළින් මාහිමිපාණන් වහන්සේගේ ගුණ වඩා හොඳින් අවබෝධ කොටගෙන, ඒ අනුව පිළිපැදීමට බොහෝදෙනකුට අවස්ථාව ලැබෙනු ඇත.

අපේ අනෙක් අභිප්‍රාය නම්, නිසැකයෙන් ම මේ යුගයේ පහළ වූ මහා පුරුෂයාණ කෙනකුන් වන අප මාහිමිපාණන් වහන්සේගේ අති ශ්‍රේෂ්ඨ චරිතය, ජීවමාන කාලයේදී උන්වහන්සේගේ කල්‍යාණ මිතුරු ඇසුර නිසි සේ ලැබගැනුමට නොහැකි වූ බොහෝදෙනකුන්ගේ හිත සුව පිණිස විදහා දැක්වීමය.

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් සියවස් 25 ක් ගත වූ පසු ද, බුද්ධානුශාසනය නිවැරැදිව පිළිපදිමින් ධර්මයේ ජීවමාන සංකේතයක් බවට පත් වූ අති දුර්ලභ සත්පුරුෂයකු මේ මිහි පිට ජීවත් වූ බව දැනගැනීම ධර්මකාමීන්ගේ අමන්දානන්දයට හේතුවක් වන අතර, බොහෝදෙනකුන්ට ධර්ම මාර්ගය අනුගමනය කිරීම පිණිස අති විශාල ධෛර්‍ය්‍යයක් ද වන්නේය.

එහෙයින් මෙම ගුණ සමරුව, ශාසන සංග්‍රහයක් හා පරාර්‍ථ සාධනයක් ලෙසින් ද අපි දකින්නෙමු.

2. ග්‍රන්ථ පරිණාමය:

වර්‍ෂ 1992 මැයි මස 07 දා ගල්දූවේ ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානීය ආදහන මළුවේදී ඉමහත් ගිහි-පැවිදි ජනකායක් මධ්‍යයේදී, සකල සංස්කාර ධර්‍මයන්ගේ අනිත්‍ය භාවය මොනවට විදහා දක්වමින් අප අති ගරු මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය සහිත චිතකය සතර වටින් නැගෙන ගිනි සිළුවලින් බුර-බුරා ඇවිලෙද්දී, මහා ධන පරිත්‍යාගයකින් මාහිමිපාණන් වහන්සේ හට ඉමහත් ගෞරව-භක්තියෙන් උපස්ථාන කළා වූ ද උන්වහන්සේගෙන් කමටහන් ලද සුවච ප්‍රියශීලී ශිෂ්‍යයකු වූ ද සත් ගුණවත් මිත්‍ර වෙන්තිමුනි මහතා කාලෝචිත ආරාධනාවක් ඉදිරිපත් කළේය.

එනම්, “අති පූජ්‍ය මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් ගුණ සමරු කලාපයක් සැකසීම සුදුසුය” යන්නයි. මෙහි වැදගත්කම වටහාගත් අපිදු එය පිළිගතිමු.

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙහි ගරු සමුත්පාදක හා ප්‍රධාන අනුශාසක වූ ද එකී යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවීමේදී එහි ප්‍රධානාචාර්ය ධුරය පුදා අප මාහිමිපාණන් වහන්සේ පෙරමුණෙහි තබාගත් මහා කල්‍යාණ මිත්‍රයාණන් වූ ද අති ගරු පූජ්‍ය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන පණ්ඩිත මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදය ද මේ සත්කාර්යයට ලැබුණු බැවින්, තවත් ගිහි-පැවිදි සත්පුරුෂ බොහෝදෙනකුන්ගේ සහාය ලබාගෙන මෙම ගුණ සමරු කලාපය ක්‍රමයෙන් ඇට-මස්-ලේවලින් පුරවමින් පණ ගැන්වූයෙමු.

අපේ මූලික අදහස වූයේ ගුණ සමරු කලාපය පහත දැක්වෙන කොටස් පසෙන් පිරවීමය.

1. විශේෂ පණිවුඩ 2. මාහිමි ජීවන චරිතය 3. “මා දුටු මාහිමිපාණෝ” මැයෙන් ලිපි පෙළක් 4. මාහිමි ලේඛන හා දේශන එකතුවක් 5. ලක්දිව ප්‍රකට කර්මස්ථානාචාර්යවරුන්ගේ විශේෂ ලිපි පෙළක්

එහෙත් මේ සියල්ල එක ම ග්‍රන්ථයකට කැටි කිරීමෙහි දුෂ්කරතාව පසුව අවබෝධ විය. එබැවින් මෙහි මුල් අංක තුන එක් පොතකටත්, සිවුවෙනි අංකය දෙවන පොතකටත් යොදාගන්නා අතර පස්වෙනි අංකය අත්හැර දැමීමට තීරණය කෙරුණි.

“අමා බින්දු” නමින් අද ඔබ අතට පත්වන්නේ, පළමු අංක තුන රැගත් මුල් පොතය.

3. ග්‍රන්ථ තත්ත්වය:

මෙම ග්‍රන්ථයෙහි “අභිනන්දන” නම් වන ප්‍රථම කොටසට, අප අති ගරු මාහිමිපාණන් වහන්සේ ජීවමාන කාලයේදී ම උන්වහන්සේගේ ගුණ - සිරුර හඳුනාගෙන සිටි අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා තෙනමකගේ හා වෙනත් සම්භාවනීය මාහිමිපාණන් වහන්සේලා දෙනමකගේ පණිවුඩ ඇතුළත් වෙයි.

මෙම කලාපයෙහි දෙවන කොටස අති ගරු ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ චරිතාපදානය සඳහා වෙන් වී ඇත. වෙන් - වෙන්ව ලියන ලද චරිතාපදාන තුනක් සුදුසු පරිදි සංස්කරණය කිරීමෙන් “මාහිමි දිවි පවත” ගොඩනැංවීමට මෙහි උත්සාහ දරා තිබේ. මේ චරිතාපදානයන් අතුරෙන් ප්‍රධාන ස්ථානය ගන්නේ, අති ගරු මාහිමිපාණන් වහන්සේ විසින් ම වර්‍ෂ 1974 දී පමණ සම්පාදිත “මගේ ජීවිත සටහන්” නමැති අත් පිටපතයි. (මෙය මීතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනාධිපති පූජ්‍යතර දේවගොඩ මංගලසිරි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ විශේෂ ආරාධනයෙන් රචනා කොට ඇත.) අවාසනාවකට මෙන් මෙහි ඇතැම් කොටස් අද අස්ථානගත වී තිබේ. එහෙත් වර්‍ෂ 1981 දී මාහිමිපාණන් වහන්සේට 80 විය පිරීම නිමිත්තෙන් නිකුත් කිරීමට අපේක්ෂා කෙරුණු අභිනන්දන ග්‍රන්ථය සඳහා එවකට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායකව වැඩ සිටි, විද්‍යා විශාරද, රාජකීය පණ්ඩිත, අති පූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත කෙටි චරිතාපදානයෙහි ශ්‍රී ඥානාරාම මාහිමි ජීවිත කථාවේ වැඩි කොටසක් සම්පිණ්ඩනාත්මකව සටහන් වී ඇති හෙයින්, එය “මාහිමි දිවි පවත” කොටසෙහි ආරම්භක ලිපිය ලෙස යොදන ලදි. ඉක්බිති “මගේ ජීවිත සටහන්” අත් පිටපතෙහි ශේෂ වී ඇති කොටස් සුළු සංස්කරණ සහිතව පළ වෙයි. එහි කෙළවරට අති පූජ්‍ය මාහිමිපාණන් වහන්සේගේ ම කෙටි රචනයක් වූ “මගේ ජීවිත තතු” යන්න අනුබද්ධ කොට ඇත. ඉන් පසු ඒ කෘතීන්හි ඌන - පූරණයක් වශයෙන්, මාහිමිපාණන් වහන්සේට 75 වන විය සපිරීම නිමිත්තෙන් උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් විසින් වර්‍ෂ 1976 දී රචිත චරිතාපදානයකින් උපුටාගත් කොටසක් දක්වා තිබේ.