අභිධර්මාවතරණය - නාවල ධම්මානන්ද හිමි.pdf
- කතෘ :
- නාවල ධම්මානන්ද හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2012
- මුද්රිත වර්ෂය :
- 2012
- පිටු ගණන :
- 61
- බාගත කිරීම් ගණන :
- 3,969
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-05-25
- ගොනුවේ ප්රමාණය :
- 1022 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධර්මාවතරණය (සතර පරමාර්ථධර්ම) යනු පූජ්ය නාවල ධම්මානන්ද හිමියන් විසින් සම්පාදනය කරන ලද මූලික අභිධර්ම සංග්රහයකි. සම්බුද්ධත්ව ජයන්තිය (2600) නිමිත්තෙන් 2012 (වෙසක් 2556) වසරේදී ශ්රී සද්ධර්ම සංසදය මඟින් මෙහි ප්රථම මුද්රණය ධර්මදානය පිණිස ප්රකාශයට පත් කරන ලදී.
දහම් පාසල් සිසුන්ට, ගුරුවරුන්ට සහ අභිධර්මය හැදෑරීමට කැමති ආධුනිකයන්ට පහසුවෙන් වටහාගත හැකි වන පරිදි සකස් කර ඇති මෙම ග්රන්ථය සඳහා අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහානාහිමියන්ගේ ‘අභිධර්ම මාර්ගය’ කෘතිය බෙහෙවින් උපකාරී වූ බව හැඳින්වීමේ සඳහන් වේ.
මෙහි අඩංගු ප්රධාන කරුණු අතර:
- සතර පරමාර්ථධර්ම හැඳින්වීම
- චිත්ත පරමාර්ථය (කාමාවචර, රූපාවචර, අරූපාවචර හා ලෝකෝත්තර සිත්)
- චෛතසික පරමාර්ථය හා චෛතසික සම්ප්රයෝගය
- චිත්තවීථි, භවාංග සිත් හා මරණාසන්න ජවන වීථිය
- රූප පරමාර්ථය
- නිර්වාණ පරමාර්ථය
පෙරවදන
සර්වඥදේශනය විනය, සූත්ර, අභිධර්ම වශයෙන් ත්රිවිධ ය. සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, ඉතිවුත්තක, ධම්මපද, වේදල්ලාදි වශයෙන් නවවිධ ය. ධම්ම විනය වශයෙන් ද්විවිධ ය. මෙයින් ත්රිවිධනයෙහි ඇතුළත් ‘අභිධර්ම’ අභිධානයෙන් ද නවවිධ නයෙහි ඇතුළත් ‘වෙය්යාකරණ’ අභිධානයෙන් ද ද්විවිධ නයෙහි ඇතුළත් ‘ධම්ම’ අභිධානයෙන් ද අභිධර්මය ඇතුළත් බව ත්රිපිටකවේදීහු දනිත්.
මෙයින් විනයපිටකය ශීලයට පාදක ය. සූත්රපිටකය සමාධියට පාදක ය. අභිධර්මපිටකය විදර්ශනාවට පාදක ය. එබැවින් ශීල සමාධි ප්රඥා නම් වූ ත්රිශික්ෂාව සම්පාදනය වීමට මුළු ත්රිපිටකය ම හේතු වෙයි.
බුදුසසුනේ මුඛ්ය පරමාර්ථය නම් නිර්වාණය සාක්ෂාත් කිරීම ය. ඒ සඳහා විදර්ශනාව වැඩිය යුතු ම ය. විදසුන් වැඩීමට නම් චක්ඛු, සෝත, ඝානාදි ආයතන දොළොස ය, ධාතු අටළොස ය, ඉන්ද්රිය දෙවිස්ස ය, ස්කන්ධ පස ය යනාදි ගැඹුරු දහම් ගැන ශ්රැතමයඥානය අත්යාවශ්ය ය. එම දැනුම ලැබීමට නම් අභිධර්ම පිටකය හැදෑරිය යුතු ම ය.
මෙකල සාමාන්ය ජනයාට තබා පැවිද්දන්ට ද අභිධර්මය හැදෑරීමේ මංපෙත් විරල ය. ඒ එහි ඇති ගැඹුරු බව නිසා ම ය. එනිසා ම වන්නට දෝ නිවන සාමාන්ය ජනයා වෙතින් ඈත් වුණු බවක් පෙනේ. අභිධර්මය සරල ව දෙසිය හැකි නො වැටුදු හැකිතාක් ලිහිල් බසකින් ලියැවුණු පොතක් වේ නම් එය සාමාන්ය ජනතාවට පමණක් නොව සියල්ලන්ට ම මහෝපකාරී වනු ඇතැ’යි කලෙක පටන් අප සිතෙහි ද පැවති අදහසකි. එනමුදු මේ කර්තව්යය කිරීමට සමර්ථයන් අද සුලභ නැත.
එබඳු වාතාවරණයක් තුළ පූජ්ය නාවල ධම්මානන්ද ස්ථවිරයෝ මේ සම්බන්ධ ව අවධානය යොමු කොට සම්පාදනය කළ අභිධර්මාවතරණ පුස්තකය මෙම අවශ්යතාව සපුරාලන්නකි.
මෙය කියවීමෙන් විශාල ධර්ම ප්රීතියක් අත්විඳිමි. හුදීජනයාගේ හිතසුව පිණිස අද මෙම ධර්මපුස්තකය එළිදැක්වීම බෞද්ධජනයාගේ භාග්යයකි. එය ඔබ සැමට නිවන් මග යාමට මහෝපකාරයකි.
එහෙයින් ඔබ අප සැම පූජනීය නාවල ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේට කෘතඥ විය යුතු ය.
‘ධම්මෝ දිප්පතු’!
මෙයට,
පූජ්ය නුවරඑළියේ ඤාණසීල ස්ථවිර,
රණගිරිය අරණ්යසේනාසනය,
දේවගිරිය,
දිද්දෙණිය,
මැල්සිරිපුර.
(වෙසක් 2556)
හැඳින්වීම
තුන්ලෝකාග්ර වූ භාග්යවත් වූ අර්හත් වූ සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධවචනය අතර උත්කෘෂ්ට වූ පරමාර්ථ ධර්මදේශනාව වන්නේ අභිධර්මපිටකය යි. දැනට ත්රිපිටකධර්මයෙහි සඞ්ගෘහිත ව තිබෙන අභිධර්මපිටකය වනාහි ධර්මසේනාපති සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ධර්මසඞ්ග්රහය යි (“අභිධම්මේ වාචනාමග්ගෝ නාම සාරිපුත්තත්ථේරප්පභවෝ”). භාග්යවත් බුදුරජාණන් වහන්සේ සත්වන වස්-කාලයෙහි තාවතිංසභවනයෙහි වස් වසා මාතෘදිව්යරාජයා ප්රධාන දිව්ය බ්රහ්මයන්ට අභිධර්මය දේශනා කරන අතර පිඬු පිණිස දිනපතා මනුලොවට වැඩම කළ අවස්ථාවෙහි දී උපස්ථානයට පැමිණෙන සාරිපුත්ත මහ රහතන් වහන්සේට දෙව්ලොව දී විස්තර කෙරෙන අභිධර්මදේශනාවෙහි මාතෘකා (නය) සැකෙවින් දේශනා කළ සේක. ධර්මසේනාපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් එසේ බුදුරජාණන් වහන්සේ වෙතින් උගත් මාතෘකා තම ප්රඥාවේ පමණින් මධ්යම ප්රමාණයෙන් විස්තර කොට තමන් වහන්සේගේ අතවැසි පන්සියයක් භික්ෂූන් වහන්සේලාට උගන්වා වදාළ සේකැ’යි ‘අත්ථසාලිනී’ නම් වූ ධම්මසඞ්ගණීප්පකරණ අට්ඨකථාවෙහි සඳහන් වේ. මෙසේ එක ම වස් කාලය තුළ තුන් අයුරකින් අභිධර්මය දේශනා කළ බව ථේරවාදය යි. දැනට අපට දක්නට ලැබෙන අභිධර්මපිටකයට අයත් සප්තප්රකරණ වනාහි බුදුරජාණන් වහන්සේ සත්වන වස්-කාලයෙහි දෙවියන්ට දේශනා කරනු ලැබූ අභිධර්මදේශනාව නොව එම දේශනාවේ සංක්ෂිප්ත මාතෘකා ධර්මසේනාපති සාරිපුත්ත මහ රහතන් වහන්සේට වදාළ කල්හි සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් තම අතවැසි පන්සියයක් භික්ෂූන් වහන්සේලාට උගන්වාලූ ස්වරූපය යි. එම සප්තප්රකරණ නම්,
1. ධම්මසඞ්ගණීප්පකරණ 2. විභඞ්ගප්පකරණ 3. ධාතුකථාප්පකරණ 4. පුග්ගලපඤ්ඤත්තිප්පකරණ 5. කථාවත්ථුප්පකරණ 6. යමකප්පකරණ 7. පට්ඨානප්පකරණ
යනු යි. ඒ අතරින් කථාවත්ථුප්පකරණය සම්පූර්ණත්වයට පත් කරන ලද්දේ තුන්වන ධර්මසඞ්ගායනාවෙහි දී මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ විසිනි. මෙසේ සඞ්ගෘහිත වූ අභිධර්මපිටකය ආධුනිකයන්ට හැදෑරීමේ පහසුව සඳහා පසුකාලීන ධර්මධර තෙරවරුන් විසින් ග්රන්ථ රැසක් සම්පාදනය කරන ලදී. ඒ අතරින් පොළොන්නරු යුගයෙහි දී සඞ්ගෘහිත වූ ‘අභිධම්මත්ථසඞ්ගහ’ ග්රන්ථය අභිධර්ම ප්රවේශ ග්රන්ථ අතරින් මූලික තැනක් ගනී. එම ග්රන්ථයට පරිවාර වශයෙන් ලියැවුණු ග්රන්ථ මහත් රැසකි. ඒ අතරින් අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහානාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත ‘අභිධර්ම මාර්ගය’ ග්රන්ථය ආධුනිකයන්ට මහත් වූ අත්වැලක් සපයන ග්රන්ථයකි. ‘අභිධර්මාවතරණය’ නමින් අප විසින් සඞ්ගෘහිත වූ මෙම සංක්ෂිප්ත අභිධර්ම සඞ්ග්රහය සකස් කිරීම සඳහා ද අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහානාහිමිපාණන් වහන්සේගේ ‘අභිධර්ම මාර්ගය’ ග්රන්ථය බෙහෙවින් උපකාරී වූ බව සඳහන් කරනුයේ කෘතඥතා පෙරදැරිව ය. එම ග්රන්ථයෙන් අවශ්ය කරුණු උපුටා ගැනීමට ලිඛිත අවසරය ලබා දුන් ශ්රී චන්ද්රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලයේ ගරු ලේකම් සී. තනිප්පුලිආරච්චි මහතාට ද මාගේ විශේෂ ස්තූතිය පිරිනමමි.
මෙබඳු ග්රන්ථයක් එළිදැක්වීම සඳහා මා දිරිමත් කරන ලද්දේ විගඩ බෙම්මුල්ලේ පින්වත් කපිල පීරිස් මහතා විසිනි. විගඩ, බෙම්මුල්ලේ ශ්රී ධම්මයුක්තිකාරාම පුරාණ විහාරස්ථානයේ දහම්පාසලේ අභිධර්ම ගුරුවරයෙකු වන එම මහතා දහම්පාසලේ දරුදැරියනට අභිධර්මය උගැන්වීමට අවශ්ය කුඩා සංග්රහ-ග්රන්ථයක අවශ්යතාව වටහා ගෙන ඒ සඳහා අවශ්ය සටහන් ද පිළියෙළ කර ගෙන එම සටහන් ග්රන්ථයක් වශයෙන් සකස් කිරීමේ අවශ්යතාව අප වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ක්රියාත්මක වූ අප විසින් එම සටහන් ද සැලකිල්ලට ගෙන මෙම ග්රන්ථය පිළියෙළ කරන ලද්දේ දහම්පාසල් සිසුන්ට, දහම්පාසල් ගුරුභවතුන්ට මෙන් ම අභිධර්මය ඉගෙනගනු කැමති ආධුනිකයන්ට ද අත්වැලක් වනු පිණිස ය. 2600 වන සම්බුද්ධත්වජයන්තිය සපිරෙන මෙම වෙසක් පුණුපොහෝය නිමිත්තෙන් මෙම ධර්මසඞ්ග්රහය එළිදක්වන්නට ලැබීම සතුටට කරුණකි. මෙම ග්රන්ථය සම්පාදනය කිරීමෙන් අප විසින් අත්පත් කර ගන්නා ලද කුසලසම්භාරය බුද්ධශාසනයේ චිරස්ථිතිය සඳහා ම හේතු වේවා’යි ප්රාර්ථනා කරමි.
එසේ ම මෙම ධර්මසඞ්ග්රහය සම්පාදනය කිරීමෙන් අප විසින් ජනිත කර ගත් ධර්මදානමය කුසල සම්භාරය අපගේ ප්රව්රජ්යාචාර්ය අතිගරු පූජනීය කිතුලම්පිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේට ද සෙසු ආචාර්ය උපාධ්යායයන් වහන්සේලාට ද අත්පත් වීමෙන් ප්රාර්ථනීය බෝධියකින් අමා නිවන්සුව සැලසේවා!
විවිධාකාරයෙන් මාහට උපකාර කරන දිද්දෙණිය, රණගිරිය අරණ්ය-සේනාසනාධිවාසී පූජනීය නුවරඑළියේ ඤාණසීල ස්වාමීන් වහන්සේ ප්රධාන සෙසු ස්වාමීන් වහන්සේලාට ද කඳුරුවැව ධර්මරාජගල අරණ්යසෙනසුනේ අපගේ සබ්රහ්මචාරීන් වහන්සේලාට ද මෙම ධර්මදානමය කුසල බලයෙන් ආයුරාරෝග්ය-සම්පත් හා නිවන්සුව අත්පත් වේවා!
හැදූවැඩූ මවුපිය දෙදෙනා වහන්සේටත් සිවුපසයෙන් උපස්ථාන කරන දායකකාරකාදි සැමටත් විශේෂයෙන් ම මෙම ධර්මග්රන්ථය මුද්රණය කිරීම සඳහා ශ්රී සද්ධර්ම සංසදය වෙනුවෙන් තම වටිනා කාලය, ශ්රමය, ධනය වැය කරමින් දිවා-රාත්රී වෙහෙසු වූ පින්වත් පුණ්ය ශ්රී තුෂන්ත අල්විස්, උපේක්ෂා පියරංගිකා අල්විස් මහත්මමහත්මීන්ටත් අපගේ ධර්මදානමය පුණ්යකර්ම සඳහාත් අප විනයාලංකාර ශ්රාවක සභාවේ කටයුතු සඳහාත් පුරෝගාමී ව අනුග්රහ කරන පින්වත් සනත් කොඩිතුවක්කු මහතා ප්රධාන පින්වතුන්ටත් මේ සඳහා සහාය වූ සෙසු සැමදෙනාටත් මෙම ධර්මදානමය කුසලකර්මයේ බලයෙන් ධර්මඥාන, භාවනාඥාන වර්ධනය කර ගෙන සුව සේ නිවන්සුව අත්විඳීමට ලැබේවා!
මෙම ධර්මදානමය කුසල කර්මය ඉන්ද්රෝපේන්ද්රාදි දිව්යරාජ බ්රහ්මරාජ සමූහයාටත් සදේවකලෝකයාටත් නිර්වාණාවබෝධය පිණිස ම හේතු වේවා!
සාධු! සාධු!! සාධු!!!
සසුන් ලැදි,
පූජ්ය නාවල ධම්මානන්ද හිමි.
අනුශාසක,
මහාවිහාරීය ශ්රී විනයාලංකාර ශ්රාවක සභාව
ධර්මරාජගල අරණ්යසේනාසනය,
කඳුරුවැව, ඇහැටුවැව.
(වෙසක්/2600 සම්බුද්ධත්වජයන්තිය)