අටුවා කතාවස්තු - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf
scanned
- කතෘ :
- පොල්වත්තේ බුද්ධදත්ත හිමි
- පිටු ගණන :
- 156
- බාගත කිරීම් ගණන :
- 3,710
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-10-18
- ගොනුවේ ප්රමාණය :
- 45 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අටුවාපරීක්ෂණය හා අටුවාකථාවස්තු යනු අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්රී බුද්ධදත්ත මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත පාලි අටුවා සහ පුරාණ ලංකා ඉතිහාසය විමර්ශනය කෙරෙන කෘතියකි. මෙහි අටුවා පිළිබඳ විවේචනාත්මක පරීක්ෂණයක් මෙන්ම පාලි අට්ඨකථාවලින් උපුටාගත් ඓතිහාසික කථා පුවත් සංග්රහයක් ද ඇතුළත් වේ.
පොත ප්රධාන කොටස් දෙකකින් සමන්විත වේ. පළමු කොටස වන ‘අටුවා පරීක්ෂණය’ මඟින් පාලි අටුවාවල එන විවිධ විෂමතා, අසමානතා මෙන්ම මාර සංකල්පය පිළිබඳ දීර්ඝ විචාරයක් සාකච්ඡා කෙරේ. දෙවන කොටස වූ ‘අටුවා කථාවස්තු’ යටතේ පැරණි සිංහල මහා තෙරවරුන්ගේ චරිත, ශාසනික ප්රතිපත්ති සහ පුරාණ ලක්දිව සමාජ තත්ත්වය හා ඉතිහාසය හෙළිදරව් කෙරෙන කෙටි කථා 136ක් විස්තර කෙරේ.
මෙම මුද්රණය බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය මඟින් දෙවන වරට ප්රකාශයට පත් කර ඇති අතර, ග්ලෝබල් ග්රැෆික්ස් ආයතනය විසින් මුද්රණය කර ඇත.
හැඳින්වීම
අපේ බොහෝ විද්වතුන් පර්යේෂණ කාර්යයකට යොමුවන්නේ කලාතුරකිනි. එයද බොහෝවිට ආචාර්ය උපාධියක් සඳහා ඉදිරිපත් කරන නිබන්ධයක් පාදක කරගෙනය. මෙම මාර්ගයෙන් වෙනස්ව පාලි සාහිත්යයේ අටුවාවන් පිළිබඳව කරනලද පර්යේෂණ ග්රන්ථයක් මෙයට වසර පනහකට පමණ පෙර අග්ගමහ හා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මාහිමියන් විසින් ලියා ඇත. එය අටුවා පරීක්ෂණය හා අටුවා කතා වස්තු නමින් හඳුන්වා ඇත.
මෙම පොතෙහි කොටස් දෙකකි. පළමුවැන්න ශාස්ත්රීය පරීක්ෂණයකි. දෙවැන්න බෞද්ධ කෙටිකතා එකතුවකි. ශාස්ත්රීය පරීක්ෂණය කර ඇත්තේ අටුවාවන් පිළිබඳවය. අටුවාවන් පිළිබඳව සමහර කෙනෙක් දරන්නේ ඒවා පර්යේෂණය නොකළයුතු විමංසනය නොකළයුතු කෘතීන්ය යන අදහසයි. එය පව් සිදුවන කාර්යයක් බවයි. එවැනි වටපිටාවක බුද්ධදත්ත හාමුදුරුවන් මෙයට පෙළඹීම ම වැදගත් කාර්යයකි. අටුවා වශයෙන් හඳුන්වන්නේ තථාගතයන් වහන්සේගේ දේශනාවන් පිළිබඳව පසුකලෙක කරන ලද විස්තර කිරීම්ය. අමාරු ගැටලු තැන් පැහැදිලි කිරීම් හා නිරවුල් කිරීම්ය. ඒවා බුද්ධ භාෂිත නොවේ. අටුවාචාරීන් විසින් තම තමන්ගේ නැණ පමණින් කරනලද ඒවාය. එම අටුවාවලද විවිධ සදොස් තැන් නොගැලපෙන තැන් එකිනෙකට විරුද්ධ අදහස් නැතුවාම නොවේ. ඒවා විමසීමට භාජනය කිරීම උසස් සේවාවකි. එවැනි අවස්ථා කීපයක්ම මෙම පොතෙන් පෙන්වා දී තිබේ.
විශේෂයෙන් අපේ බෞද්ධ සාහිත්යයේ එන මාරසංකල්පය පිළිබඳව දීර්ඝ විස්තරයක් මෙහි ඇත. මාරයා යනු මනඃකල්පිත දෙවියෙක් බව හේතුදාහරණ සහිතව මෙහි පෙන්වා දෙයි.
පොතේ දෙවැනි කොටසේ කෙටි බෞද්ධ කතා 136ක් වෙති. එයින් වැඩි ගණනක් ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ අපිස් දිවි පැවත්ම, මහණකමේ පරමාර්ථ මුදුන්පත්මුදුන්පත්වාගැනීම සඳහා කරනලද ආරබ්ධ වීර්යය අධිෂ්ඨාන ශක්තිය වැනි පුරුෂාර්ථයන් පිළිබිඹුකරන කතාන්තරය. සැදැහැයෙන් යසුන් වත් කුලදරුවන් විසින්ද එම කතා කියවීම දෙලොවටම හිතකරය. මෙහි අවසාන කතාවේ එන්නේ බෙහෙත් මුලක් නිසා පිශාචයන් දුටු කතාවකි. පිශාචයන් දැකීම බියජනක වුවත් මෙම භික්ෂූන් වහන්සේට එවැනි බියක් හට ගෙන නැත. එපමණක් ද නොව භික්ෂූන් වහන්සේලා පිශාචයන්ගේ වුවත් බඩගින්න නිවා දැමීමට ආධාර උපකාර කළ මහාගුණයෙන් යුක්ත බවද එයින් උගත හැකිය. මෙවැනි රසවත් කතා කිහිපයක් මෙහි වෙති.
මෙම පොත මෙයට පනස්වසරකට පෙර මුද්රණය වූ බව සඳහනි. අද එහි පිටපතක්වත් සොයා ගැනීමට නැත. මෙහි අටුවා පරීක්ෂණය නම් කොටසේ උපයෝගීතාවය සහ වටිනාකම අද එදාට වඩා වැඩිය. මෙය මෙසේ දෙවැනි වරට මුද්රණය කිරීම උගත් සහ උගන්නා අයට ඵලදායි වනු ඒකාන්තය. පොත සකස් කිරීම සහ මුද්රණය කිරීම සඳහා නන් අයුරින් සහාය දැක්වූ සියලූ දෙනාටද දකුම්කළුලෙස දර්ශනීය පිටකවරකින්ද යුතුව මුද්රණය කළ ග්ලෝබල් ග්රැෆික්ස් මුද්රණ ආයතනයේ මුද්රණ කළමනාකාර තුමන් ඇතුළු සියලූ සේවක මහත්ම මහත්මීන්ටද ස්තූතිවන්ත වන අතර ඒ හැමට කෘතඥතා පූර්වකව පුණ්යානුමෝදනා කරමි.
මෙසට, ශාසනස්තිකැමී
කිරම විමලජෝති ස්ථවිර
අධ්යක්ෂ
බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය
ඇන්ඩර්සන් පාර,
නැදිමාල, දෙහිවල.
විඥාපනය.
“පොතේ තිබුණ තරමින් යමක් නො විමසා පිළිගතයුතු නොවේ. ආචාර්යවරයාගේ උසස්කම සලකා යමක් පිළිගතයුතු නොවේ “ය යි බුදුරදුන් විසින් වදාරන ලදී. හැම කරුණක් ම විමසා බලා යමක් පිළිගැනීම යුතු යයි ද තමාට වැටහේ නම් එය පිළිගතයුතු ය යි ද එතුමන් විසින් කියන ලදී. බුද්ධාගමේ පරමාර්ථය වූ මාර්ගඵල පවා ලැබිය හැක්කේ තම තමන් ම විමසා බලා අවබෝධකර ගැනීමෙනි. ලෝකයේ යම් පමණක් ආගම් ඇත්නම් ඒ ආගම් අතුරෙන් පෞද්ගලික විවේචනයට මෙසේ උසස් තැනක් දුන් අන් ආගමක් නැත්තේ ය. අද වසන උසස් ශාස්ත්රඥයන්ට බෞද්ධාගම ප්රියවී ඇත්තේ “අනුන් කී නිසා, පොතේ තිබෙන නිසා ඇදහිය යුතුය” යන නියමයක් මේ ආගමේ නැති බැවිනි.
මෙසේ හැම දෙයම විමසා බැලීමට බෞද්ධාගමේ නිදහස ඇතත් පෙළ-අටුවා-ටීකා පොත්වල තිබෙන දේ විමසා බලා නො ගැලපෙන තැන් පෙන්වීම නොකටයුතු යන්න මින් අවුරුදු තිහ-හතළිහකට පෙර මෙරට බෞද්ධ උගතුන් අතර පැවති මතයකි. මේ මතයට පහරදෙමින් ඒ ඒ පොත්වල ඇති නො ගැලපෙන තැන් පෙන්වමින් මේ වර්තමාන යුගයේදී පළමුවෙන් පුවත්පත් ආදියේ ලිපි පළකරවන්ට පටන් ගත්තේ මෙය ලියන මම ය. මුලදී අමුතු දෙයක් සඳහා ඉදිරිපත් වෙන්නාට බොහෝ අපහාස හිරිහැර විඳින්නට සිදුවීම ලෝකයේ ස්වභාව ධර්මයකි. 1930 හේ පටන් මා විසින් මෙවැනි ලිපි පළකරවීම ආරම්භ කරන ලදී. එය දෙබරයකට ගල් ගැසීමක් වැනි විය. “සිංහල බෞද්ධයා” පත්රයෙහි මේ ලිපි පළවීගෙන යනවිට බොහෝ දෙනෙක් එකල දඹදිව සිටි අනගාරික ධර්මපාලතුමන් වෙත ලියුම් යවා ඒ ලිපි පළකරවීම නැවැත්වූහ.
ඉන්පසු කවදත් විවේචනයට කැමති කුමාරණතුංගසූරීන් අලුතෙන් පටන් ගත් “ලක්මිණී පහන් පත්රයේ” මේ ලිපි කීපයක් පළකෙරෙව්වෙමි. මේ අතරේ දී “මාරයා මනඃකල්පිත දෙවියෙකි.” යි මා සැපයූ ලිපියක් දිනමිණ පත්රයේ පළවීමෙන් 1935 දී දීර්ඝ විවාදයක් ඇති විය. ඒ වාදයෙන් ද බොහෝ කරුණු හෙළි විය. මෙසේ වාද විවාද පවත්නා අතර රටේ උගතකු සේ පිළිගත් පණ්ඩිතෝපාධිධර නායක තෙරනමක් මා වෙත ලියුමක් එවමින් ඇතැම් අටුවා පොත්වල නො ගැලපෙන තැන් ඇති බව සැබෑ වුවත් ඒවා නූගත් මිනිසුන් හා අන්යභක්තිකයන් කියවන පුවත් පත්වල පළකරවීම යෝග්ය නැතැ යි දන්වා එවී ය. යුරෝපයේ පාළිපොත් මුද්රණය වී ඇති බවත්, පාළි දන්නා උගතුන් පිටරට වල ඇති බවත්, දැනටම ඒ උගතුන් මේවා විවේචනය කොට ඇති බවත් නො දැන මේ නායක මහාස්ථවිරතුමන් කියන කීමට අනුකම්පා කටයුතු ය. “බුද්ධධර්මය විවෘත වූයේ ම බැබළේ”යයි බුදුරදුන් දෙසු දේශනාව එතුමා නො දැන සිටියා විය හැක.
තවද අටුවාවල දැක්වෙන ලංකා ඉතිහාසයට සම්බන්ධකම් ඇති කථාවස්තුන් සිංහලට නගා 1932 සිට “සිංහල බෞද්ධයා” “සිළුමිණ” යන පත්රවල පළකෙරෙව්වෙමි. මෙසේ මේවා පළ වූ පසු හික්කඩුවේ උදිත නම් ස්ථවිරතුමකු විසින් 1939 යේ දී “ත්රිපිටක පරීක්ෂණය” නම් පොතක් පළකරවන ලදී. මේ පොතේ මා විසින් පත්රවල පළකරවූ කථාවස්තු රාශියක් ද ඇතුළත්ව තිබේ. ඒ කථාවස්තු හා අටුවාවල නො ගැලපෙන තැන් මා සොයා ගත්තාසේ ම ඒ ස්ථවිරතුමාටත් සොයාගත හැකි බැවින් මාගේ ලිපිවලින් ඒවා උපුටා ගන්නා ලදැයි චෝදනාවක් නො නැගේ. එසේ ද වුවත් ශාස්ත්රීය පරීක්ෂණයක දී ඒ පරීක්ෂණය ඉන් පෙර කවරකු විසින් වුවත් ස්වල්ප වශයෙන් හෝ කරන ලද නම් ඒ බව නො මසුරුව නො මැලිව දැක්විය යුතුය. අපේ ලක්දිව පවත්නා බලවත් ප්රතිගාමී ගතියක් නම් මෙසේ නම් ගම් දැක්වීමට ඇති අකැමැත්තයි. මේ අකැමැත්ත නිකාය භේද කුල භේද ආදිය නිසාත් ඇතිවේ. යම් කාරණයක් ගැන අන්ය නිකායිකයකු කොපමණ ලීවත් ඇතැම් අන්ය නිකායිකයන්ට එය නොපෙනේ. ස්වනිකායිකයකු ඒ කාරණයම ඊට පසුව ලීවොත් එය ඔවුන්ට හොඳින් පෙනෙනවා පමණක් නොවු ඒ ස්වනිකායිකයාට ඒ සඳහා ගෞරවෝපාධි පවා පිරිනමති.
මාගේ මේ පොතට මුලදී දී තිබුණ නම “අටුවා වලින් ඉතිහාසයට (-උපකාර වන දේ)” යන්නයි. මෙය ලියා බොහෝ කල් ගතවූ නමුත් කඩදාසි මිල නැගීම ආදි නොයෙක් කරුණු නිසා මුද්රණය පමා විය. මෙසේ පවත්නාතර 1950 දී පණ්ඩිත බද්දේගම විමලවංස ස්ථවිරතුමන් ලියූ “බෞද්ධ සාහිත්යය” නමැති පොත දැකීමෙන් “අටුවා පරීක්ෂණය” නමැති කොටස ද මෙයට එක්කරන්ට සිත්විය. එය වනාහි අලුතෙන් ලියූ කොටසක් නොව පෙර පත්රවල පළ වූ ලිපි දාතම් සහිතව සංග්රහ කිරීමෙන් සම්පාදිත වූවකි. පත්රවල පළ වූ ඒ ලිපි සියල්ල මා ළඟ ඇතත් එයින් වැදගත් යයි හැඟෙන ඒවා පමණක් උපුටා මෙහි සංග්රහ කරන ලදී.
මෙහි ඇතුළත් කථාවස්තු වලින් ලංකා ඉතිහාසයට රුකුලක් ලැබෙනවා පමණක් නොවේ, පුරාණ ලක්දිව සමාජතත්වය තේරුම් ගැනීමට ද ඒවා බොහෝ උපකාර වෙති. මෙහි අග තිබෙන සංඥානාම සූචියෙන් ඇතැම් නම් දෙතුන් විධියකට පොත් වල ලියවී තිබෙන සැටි පෙනෙනවා ඇත. සිංහල නම් පාළියට නැඟීම නිසා අපේ ඉතිහාසයට සිදුවී තිබෙන පාඩුව මහත් ය. සිංහල නම් ම තිබුණා නම් දැනුත් ඇතැම් ස්ථානයක් ඇඳින ගැනීම පහසුවෙන්ට තිබුණි. “නළමණ්ඩපධානඝර” යන්න සද්ධර්මාලංකාරයෙහි ලියවී තිබෙන්නේ “බටකඩ භාවනාගෙය” වශයෙනි. කථා දෙකේ සමානත්වය නිසා එය එක් ස්ථානයෙකැයි තේරුම් ගත හැකිවා මිස නම් දෙකේ හැටියට නම් එක් තැනකැයි තේරුම් ගැනීම අපහසු ය.
පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර
30.7.1951
අම්බලම්ගොඩ.