අටවිසි බුද්ධ වන්දනා, තෙරුවන් වන්දනා සහ සෙත් පිරිත් දේශනා - නාඋයනේ අරියධම්ම හිමි.pdf
- කතෘ :
- නාඋයනේ අරියධම්ම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2009
- මුද්රිත වර්ෂය :
- 2009
- පිටු ගණන :
- 83
- බාගත කිරීම් ගණන :
- 11,105
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-11-19
- ගොනුවේ ප්රමාණය :
- 50 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අටවිසි බුද්ධ වන්දනා තෙරුවන් වන්දනා සහ සෙත් පිරිත් දේශනා යනු බුද්ධ වර්ෂ 2553 (2009) ඇසළ මස අනුරාධපුර ස්වර්ණමාලි මහා සෑ මළුවේදී පැවැත්වූ මහා අටවිසි බුද්ධ පූජා පිංකම නිමිත්තෙන් සම්පාදනය කොට නොමිලයේ ධර්ම දානය පිණිස බෙදාහරින ලද වන්දනා හා පිරිත් ග්රන්ථයකි.
මෙම කෘතිය ශ්රී කල්යාණී යෝගාශ්රමාධිපති මහා කම්මට්ඨානාචාර්ය අතිපූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේගේ සංස්කරණයෙන් සහ අනුශාසකත්වයෙන් අරියමග්ග සංවිධානය මගින් ප්රකාශයට පත් කරන ලද්දකි. මෙහි අටවිසි බුදුරදුන් වෙනුවෙන් දිගන සුගතවංශ හිමියන් විසින් රචිත ගාථා මෙන්ම සම්මත වන්දනා, සූත්ර ධර්ම සහ ආරක්ෂක පිරිත් දේශනා අන්තර්ගත වේ.
- අටවිසි බුද්ධ පූජාව හා වන්දනාව
- තුනුරුවන් වන්දනාව, චුද්දස බුද්ධ වන්දනාව හා අටළොස් බුද්ධ ඥාණ වන්දනාව
- මහා මංගල, රතන, කරණීය මෙත්ත යන තුන් සූත්රය සහ ආරක්ෂක පිරිත්
- දෙවියන්ට හා ඥාතීන්ට පින්දීමේ ගාථා
හඳුන්වාදීම
තුන් ලෝකවාසිනට අසහාය පිහිටක් වූ, මහත් ගුණ සමුදයකින් හා ශ්රද්ධා සම්පත්තියකින් යුක්ත වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන්නා වූ සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේලා අප ඉදිරියේ ජීවමානව වැඩ සිටිතැයි අරමුණු කරමින් ද්රෝණයක් පමණ සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටින ස්වර්ණමාලි මහ සෑ රදුන් අභියස සිට වන්දනා කරන්නට ලැබීම ද ඒ අවස්ථාව උදෙසා අටවිසි බුදුරජාණන් වහන්සේලා වන්දනා, තෙරුවන් වන්දනා සහ සෙත් පිරිත් දේශනා ඇතුලත් මෙම දහම් පොතත් සර්වඥ සම්බුද්ධ තෙසැත්තෑ ඥාණ සහ ධම්මපද ගාථා ඇතුලත් දහම් පොතත් මහා කම්මට්ඨානාචාර්ය අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමිපාදෝත්තමයාණන් වහන්සේගේ සංස්කරණයෙන් සැදැහැවතුන්ගේ දායකත්වයෙන් මුද්රණය කරවා ධර්ම දානය පිණිස පරිත්යාග කරවන්නට ලැබීම අප සැමදෙනා ලැබූ ඉමහත් භාග්යයකි. මෙම උත්තම අවස්ථාව මේ පිංකම හා සම්බන්ධවුනු අප සැම දෙනාගේ සසර ප්රාර්ථනාවක් විය යුතුය.
අනන්ත අප්රමාණ ගුණ ඇත්තා වූ ආර්ය මහා සංඝරත්නය හා පේලි වෙමින් වැඩසිටින්නා වූ අතිපූජනීය ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථා ප්රධාන අනුශාසක ධුරන්ධර මහා කම්මට්ඨානාචාර්ය අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමිපාදෝත්තමයාණන් වහන්සේ, රුවන්මැලි මහ සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයත්, අනුශාසනයත් දස දිසාවෙහි සිට මේ පිංකම හා සම්බන්ධ වෙමින් අසීමිත බුද්ධාලම්භන ප්රීතියෙන් යුතුව විවිධාකාරයෙන් පුණ්ය කටයුත්තෙහි හා සංවිධාන කටයුත්තෙහි යෙදෙන සියළුම සැදැහැවතුනුත් විවිධාකාරයෙන් මූල්ය පරිත්යාග කරමින් දායක වූ සැමදෙනාත්, නිරතුරුව පිහිට වන්නා වූ සම්මාදිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලා සහ සාධු සිතින් සම්බන්ධ වූ පිංවතුන්ගේ ආශිර්වාදයත් මෙම අසිරිමත් අටවිසි බුදුරජාණන් වහන්සේලා වන්දනා පිංකම පැවැත්වීමේ පුණ්ය ජීවයයි. පුණ්ය ශක්තියයි.
තව අවුරුදු සිය දහසක් මුළුල්ලෙහි සම්බුදු ශාසනය ලොව පවතින තාක් දෙවි මිනිසුන්ගේ චිත්ත සන්තානයන් තුල පහන් සිත් පුබුදුවාදමින් මේ පොළොව තලය මත වැඩ සිටින්වා අරමුණු කරමින් සිදුකරනු ලබන බුද්ධ ප්රතිමා වහන්සේලා පූජාවද අටවිසි සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේලා උදෙසා සිදුකරනු ලබන අසිරිමත් ආලෝක පූජාවන් ඇතුළු බුද්ධ පූජාවන්ගෙන් ද, ප්රතිපත්ති පූජාවන්ගෙන්ද, ජනිතවන්නා වූ අසීමිත කුසල ශක්තිය ශ්රී කල්යාණි යෝගාශ්රමාධිපති ප්රධාන අනුශාසක ධුරන්ධර මහා කම්මට්ඨානාචාර්ය අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමිපාදෝත්තමයාණන් වහන්සේගේ දෙපාමුල උත්තම වූ ප්රතිපත්ති පූජාවක් වේවා. නිවන් මග පෙන්වා දෙන කල්යාණ මිත්ර ගුරු උතුමන් වහන්සේලා උදෙසා සිදුකරන්නා වූ උත්තම පූජාවක්ම වේවා ! විසි අසංඛ්ය කල්ප ලක්ෂය තුල ලොව පහළ වූ 512000 අධික අසම සම සම්මා සම්බුදු රජාණන් වහන්සේලා හා පේලි වෙමින් මතු ලොව්තුරු බුදු බවම ලබත්වා!
මෙම අසිරිමත් පූජාව සඳහා නිරතුරුව ආශිර්වාද කරන්නා වූ පූජනීය දාස්වත්තේ සුමනසීල ස්වාමීන් වහන්සේ, පූජනීය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ, පූජනීය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේ පූජනීය විහාරමැදවච්චියේ අරියවිමල ස්වාමීන් වහන්සේත් අපගේ ගෞරවනීය ආරාධනයෙන් සුවිශේෂ අටවිසි බුදු රජාණන්වහන්සේලා වන්දනා ගාථා පෙලක් නිබන්ධනය කල පූජනීය දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේත් මියන්මාරයේ සිට කිරිගරුඬ ප්රතිමා වහන්සේලා වැඩම කරවීම පිණිස කටයුතුකල පූජ්ය පානදුරේ අරණවිහාරී ස්වාමීන් වහන්සේ ඇතුළු විවිධාකාරයෙන් අනුශාසනාකල වූ අතිපූජනීය මහා සංඝරත්නයත්,
ගිහි අනුශාසකත්වයෙන් කටයුතු කරන්නා වූ මහාචාර්ය නිමල් ද සිල්වා මහතා, චන්ද්ර ආරියරත්න මහත්මියත් මියන්මාරයේ සිට කිරිගරුඬ ප්රතිමා වහන්සේලා වැඩම කරවීම පිණිස සංවිධාන කටයුතුකල ඩී.එල්.ඩබ්ලිව්. ජයසිංහ මහතා සහ විවිධාකාරයෙන් අනුග්රහ දක්වන්නා වූ නා උයන, පොල්ගස්ඕවිට, ගල්දූව, නාඋයන ආරණ්ය සේනාසනය ඇතුළු ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවට අනුබද්ධිත ආරණ්ය සේනාසනයන්හි දායක සභාවන්හි සියළුම දායක පිංවතුන් ද,
විවිධාකාරයෙන් අප සමග එක්ව සංවිධාන කටයුතු සහා දායකත්වයන් සිදුකරන්නා වූත් මෙම ධර්ම ග්රන්ථ පූජාව සඳහා දායකත්වයන් දැක් වූ සැම දෙනාත්, අකුරු සැකසූ සහ සෝදුපත් කියවීමෙහි යෙදුණු සැමදෙනාත්, විවිධාකාර පරිත්යාගයෙන් ඉමහත් ගරුත්වයෙන් කටයුතු සංවිධානය කල සියළුම දෙනාත්, අපගේ දෙමාපියන් වහන්සේලා පවුල්වල සාමාජිකයින් හිතමිත්රාදීන් ඇතුළු සැමදෙනාත්, ශ්රම දායකත්වයෙන් සහයෝගය දැක්වූ සැම දෙනාත් සාධු කියා සතුටු සිතින් මේ සියළු පුණ්ය ක්රියාවන් සඳහා ආශිර්වාද කළ සැමදෙනාගේත් සියළු සම්යක් ප්රර්ථනා ඉටු වී අමා මහ නිවනින් සැනසීම පිණිසම මෙම අසිරිමත් අටවිසි බුදු රජාණන් වහන්සේලා වන්දනාවෙන් සහ ධර්ම දානමය පූජාවෙන් ජනිතවන්නා වූ සියළු කුසල් සම්භාරය ඒකාන්තයෙන් හේතු වේවා!
මෙයට අරියමග්ග සංවිධානය. 2009.06.27
අරියමග්ග සංවිධානය.
2009.06.27
පොත ගැන වචනයක්
අටවිසි බුද්ධ පූජා වන්දනා ගාථා සහ සෙත් පිරිත් ඇතුලත් දහම් පොතක් සකස් වීම ඉතා ප්රයෝජනවත්ය. රුවන්මැලි මහා සෑයේදී පවත්වනු ලබන පිංකමේදී වන්දනා පූජාව සඳහා මෙය සකස් වී ඇත. සියලුම දෙනාට සරල බසින් කියවීමට සකසා ඇත. බුද්ධ පූජාවේ බුද්ධ වන්දනාවේ අනුසස් අසීමිතය. පියුමතුරා බුදුරජාණන් වහන්සේට මල් පූජාවක් කළ පිංවතෙකුට ගෞතම බුදු සසුන දක්වා අනුසස් ලැබී ඇත. ඒ පිංකමේ අනුහසින් සතර අපායකින් අතමිඳී මනුස්ස සම්පත්තිය, දේව සම්පත්තිය, සක්ර සම්පත්තිය, සක්විති සම්පත්තිය, රාජ සම්පත්තිය ආදී සියලු සම්පත් උදාවිය. නිර්වාන සම්පත්තියද ලබා ගැනීමට ගෞතම බුදු සසුනේදී හැකිවිය. එසේම පහන් පූජාව, ගිලන් පස පූජාව, කොඩි පූජාව, බුද්ධ වන්දනාව කිරීමේ චරිත කීපයක්ද සඳහන් වී ඇත. ඒ සෑම දෙනාටම කල්ප ලක්ෂයක් අනුසස් ලැබී ඇත.
ඒ අනුව සලකා බලන කල්හි අප සැමට ද අනන්ත අපරිමාණ අනුසස් ලැබෙනු ඇත. රුවන්මැලි සෑ මළුවේ පවත්වන ලද පිංකම අංග සම්පූර්ණ පිංකමකි. කිරිගරුඬ අටවිසි බුද්ධ ප්රතිමා පූජාව, විදුලි ආලෝක පූජාව, හේවිසි පූජාව, අෂ්ඨපාන ගිලන්පස, කොඩි, කිරිආහාර පූජාව, අටපිරිකර පූජාව ආදී පිංකම් රාශියක් සිදුවේ. ඒ අතරට ධර්ම දානමය පිංකමක්ද සිදුවේ.
අරියමග්ග සංවිධානයේ මග පෙන්වීම නිසා මහා පිංකම් රාශියකට සහභාගි වීමට අපට වාසනාව ලැබිණි. අතිපූජ්ය නාඋයනේ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම් මාලාව පැවැත්වේ. නැලියක් සර්වඥධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහා චේතිය මළුවේ තුන්යම් රාත්රියක් ගත කිරීමට ලැබීමද ප්රසංසනීයයි. අතිවිශාල ජනකායක්ද, අතිවිශාල මහා සංඝරත්නයද සහභාගි වෙමින් පවත්වන ලබන පිංකම ඉතා මනෝහරය.
මේ පිංකමෙන් ජනිත කුසල් බලයෙන් අපවත් වී වදාළ අතිගරු රාජකීය පණ්ඩිත කඩවෑද්දුව ශ්රී ජිනවංශාභිධාන මා හිමිපාණන් වහන්සේට උතුම් බුදුබව අත්වේවා. අතිපූජ්ය මහා කම්මට්ඨානාචාර්ය නා උයනේ අරියධම්මාභිධාන මා හිමි පාණන් වහන්සේටද නිරෝගි සුව දිගාසිරි ලැබේවා. උතුම් බුදුබවම අත්වේවායි පතමි.
මහා පිංකමට සහයෝගය දැක්වූ සියලු මහා සඟ රුවණට නිරෝගි සුව දිගාසිරි ලැබේවා. නිවන් සුව අත්වේවා. මෙම දහම් පොත මුද්රණ වියදම් දැරූ සෑම දෙනාටද මිය ගිය සිය ඥාතීන්ටද පිංකමට දිවා රාත්රී වෙහෙසෙමින් කටයුතු කළ සැමටද ආධාර කල සැමටද දෙවියන් සහිත ලෝ වැසියන්ටද සෙත් ශාන්තිය සැලසේවා.
අරියමග්ග සංවිධානයේ සිය සාමාජික භවතුන්ට ආයුරා රෝග්යාදී සැප විහරන සැලසේවා. සාසනික කටයුතු කිරීමට ශක්තිය, බලය, ධෛර්යය, ඤාණය වැඩි දියුණු වේවායි ආශීර්වාද කරමි.
මෙයට, කාරුණික, කහගොල්ලේ සෝමවංශ හිමි, ශ්රී ගුණවර්ධන යෝගාශ්රමය, ගල්දූව-කහව. 2009-06-10
මෙයට,
කාරුණික,
කහගොල්ලේ සෝමවංශ හිමි,
ශ්රී ගුණවර්ධන යෝගාශ්රමය,
ගල්දූව-කහව.
2009-06-10
පෙරවදන
සාරාසංඛ්යෙය්ය කල්ප ලක්ෂය පුරා මෙතෙක් පහළ වූ සර්වඥයන් වහන්සේලා අටවිසි නම ගැන අර්ථකථා ග්රන්ථයන්හි අනුපිළිවෙලින් සඳහන් වී ඇත. බුද්ධවංශ පාලියෙහි දීපංකර සර්වඥයන් වහන්සේ සිට පස්විසි බුද්ධ ශාසන ගැන සවිස්තරව දේශනා කොට ඇත.
සියලු සර්වඥයන් වහන්සේලාගේ සමා ධර්මතා සමතිසකි, අසමාන කරුණු අටකි. එකම බුදුරජාණන් වහන්සේගේ ප්රතිසන්ධි මංගලය උත්පත්ති මංගලය බුද්ධත්ව මංගලය ධම්මචක්ක දේශනාව පරිනිර්වාණය අවස්ථාවන්හිදි පවා දශ දහසක් ලෝකධාතු කම්පාවෙති. එසේ කල්හි බුදුරජාණන් වහන්සේලා අටවිසි නමකගේ ගුණමහන්තාව මොනතරම් අසිරිමත් වේද,
ජිනපඤ්ජරය - අටවිසි පිරිත - අටවිසි ජීවර පිරිත ආදී ආරක්ෂක පිරිතට අටවිසි බුද්ධ නාම ඉදිරිපත් කොට භාවිතා කිරීමෙන් බෞද්ධයෝ කොතරම් අනුසස් ලබත්ද, එම අටවිසි සම්බුදුරජාණන් වහන්සේලා උදෙසා බු.ව. 2553, ඇසළ පුර සැටවක තිථිය ලත් ඉරිදින (2009-06-27) අනුරාධපුර රුවන්මැලි මහ සෑ මළුවේදී සර්වරාත්රිකව පැවැත්වෙන අටවිසි බුද්ධ පූජාව පිණිස මෙම “අටවිසි සම්බුද්ධ වන්දනා” පොත සම්පාදනය වී ඇත.
අටවිසි බුදුරජාණන් වහන්සේලා වන්දනා, තෙරුවන් වන්දනා සහ සෙත් පිරිත් දේශනා මෙම දහම්පොත අරියමග්ග සංවිධානය මගින් අනුග්රාහක පරිත්යාගශීලීන්ගේ සහභාගිත්වයෙන් මුද්රණය කරවා පිරිනැමෙනුයේ ධර්මදාන ශීර්ෂයෙනි. මෙම ධර්ම ග්රන්ථය සම්පාදනයෙහිලා කටයුතුකල දාස්වත්තේ සුමනසීල ස්වාමීන් වහන්සේටත් අටවිසි බුදුරජාණන් වහන්සේලා වන්දනාව පිණිස විසිතුරු ගාථා පෙළක් නිර්මාණය කළ දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේටත් අරියමග්ග සංවිධානයේ නිලධාරි මණ්ඩලයටත්, සාමාජික අනුග්රාහක සැමටත් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්තාපරිමාණ බුද්ධ ගුණ - බුද්ධානුභාව බලයෙන් ආයුරාරෝග්යාදී සැපතත් ධර්මඥානයත් භාවනාඥානයත් ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවත් සුවසේම සාක්ෂාත් වේවා !
“සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා”
මෙයට මෙතැති, නා උයනේ අරියධම්ම ස්ථවිර, නා උයන ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථා සේනාසනය, පන්සියගම, මැල්සිරිපුර.
මෙයට මෙතැති,
නා උයනේ අරියධම්ම ස්ථවිර,
නා උයන ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථා සේනාසනය,
පන්සියගම, මැල්සිරිපුර.