සිංහල මිලින්ද ප්‍රශ්නය

 

by Mr. R. Gamini Gunasiri.

 

 

 

පටුන




පුණ්‍යානුමෝදනා

මෙම පොත යතුරුලියනය කර අප වෙත ලබාදුන් “බෞද්ධයා” පිටුවේ ඇඩ්මින්තුමාට සහ එය මේ ආකාරයෙන් සකස් කර ඔබ වෙත ගෙන ඒමට දායක වූ සියලු දෙනාටම මෙම ධර්ම දානමය පින අයත්වේ.

 

පටුන

1. පූජා අප්‍රතිග්‍රහණ ප්‍රශ්නය. 5

2. ආවර්ජනා ප්‍රතිබද්ධ ප්‍රශ්නය. 5

3. දේවදත්ත ප්‍රවුජ්‍යා ප්‍රශ්නය. 6

4. විශ්වන්තර පෘථිවි කම්පා ප්‍රශ්නය. 7

5. සිවිරාජ ප්‍රශ්නය. 9

6. ශාසනායු ප්‍රශ්නය. 9

7. කර්මක්ෂය ප්‍රශ්නය. 11

8. විවේක ගුණ ප්‍රශ්නය. 12

9. ත්‍රිමාසායු පරිච්ජේද ප්‍රශ්නය. 12

10. ආචාර්ය මුෂ්ටි ප්‍රශ්නය. 13

11. මරණභය ප්‍රශ්නය. 13

12. පිරිත් ප්‍රශ්නය. 14

13. ප්‍රත්‍යයලාභ ප්‍රශ්නය. 14

14. අනාපත්ති ප්‍රශ්නය. 15

15. පිරිස් පරිහරණ ප්‍රශ්නය. 16

16. අභෙද්‍ය පිරිස් ප්‍රශ්නය. 16

17. ශ්‍රේෂ්ඨ ධර්ම ප්‍රශ්නය. 17

18. උණුලේ නිර්ගත ප්‍රශ්නය. 18

19. සේල ප්‍රශ්නය. 20

20. මෝඝපුරිසවාද ප්‍රශ්නය. 21

21. අචේතන වෘක්ෂ ප්‍රශ්නය. 22

22. චුන්ද භත්ත ප්‍රශ්නය. 23

23. ආමිෂපූජා ප්‍රතික්ෂේප ප්‍රශ්නය. 24

24. පපටිකා පතිත ප්‍රශ්නය. 24

25. ශ්‍රමණ විනිශ්චය ප්‍රශ්නය. 25

26. උබ්බිල්ලාවීත ප්‍රශ්නය. 25

27. අහිංසා නිග්‍රහ ප්‍රශ්නය. 26

28. සංඝ පනාමිත ප්‍රශ්නය. 27

29. මෞද්ගල්‍යාන ඍද්ධිවිභාග ප්‍රශ්නය. 28

30. විනය ප්‍රතිච්ජන්න ප්‍රශ්නය. 29

31. මුසාවාද පාරාජිකා ප්‍රශ්නය. 29

32. කාල විලෝකන ප්‍රශ්නය. 30

33. මරණ සමුච්ජේද ප්‍රශ්නය. 31

34. මෙත්තානිශංස ප්‍රශ්නය. 32

35. කුශලාකුශලකාරී විශේෂ ප්‍රශ්නය. 33

36. අමරාදේවී ප්‍රශ්නය. 34

37. අර්හත් නිර්භය ප්‍රශ්නය. 35

38. සර්වඥානුමාන ප්‍රශ්නය. 35

39. සේනාසන ප්‍රශ්නය. 36

40. උදරසංයත ප්‍රශ්නය. 36

41. බක්කුලත්ථේර ප්‍රශ්නය. 37

42. නිර්වාණ මාර්ග ප්‍රශ්නය. 38

43. ලෝමස කාශ්‍යප ප්‍රශ්නය. 39

44. ජෝතිපාල මාණවක ප්‍රශ්නය. 39

45. බ්‍රාහ්මණරාජ ප්‍රශ්නය. 40

46. සර්වඥගෝචර ප්‍රශ්නය. 41

47. බ්‍රහ්මාරාධනා ප්‍රශ්නය. 42

48. ගුරු විරහිත ප්‍රශ්නය. 42

49. ඒකබුද්ධධාරණී ප්‍රශ්නය. 43

50. සංඝ පූජනීය ප්‍රශ්නය. 44

51. ප්‍රවුජ්‍යා විශේෂ ප්‍රශ්නය. 45

52. සීරළු ප්‍රශ්නය. 46

53. ඒක වේදනා ප්‍රශ්නය. 47

54. ගෘහස්ථ පාරාජිකා ප්‍රශ්නය. 47

55. ශ්‍රමණ දුශ්ශීල ප්‍රශ්නය. 48

56. නිෂ්ප්‍රපඤ්ච ප්‍රශ්නය. 49

57. ද්වෙගති ප්‍රශ්නය. 49

58. සිංහනාද ප්‍රශ්නය. 49

59. නිර්වාණ විමතිච්ඡේදන ප්‍රශ්නය. 50

60. සර්වඥඍෂි ප්‍රශ්නය. 50

61. සූර්‍යොපක්ලේශ ප්‍රශ්නය. 51

62. ක්‍රෑරප්‍රභා ප්‍රශ්නය. 51

63. පුත්‍රදාන ප්‍රශ්නය. 51

64. ඤාණපරිපාක ප්‍රශ්නය. 53

65. පුණ්‍යාධිකතර ප්‍රශ්නය. 53

66. ඥාතිප්‍රේත පින්පෙත් ප්‍රශ්නය. 53

67. මහා ස්වප්න ප්‍රශ්නය. 55

68. අකාල මරණ ප්‍රශ්නය. 55

69. චෛත්‍ය ප්‍රාතිහාර්‍ය ප්‍රශ්නය. 56

70. නිර්වාණාභව්‍ය ප්‍රශ්නය. 56

71. නිර්වාණ සාත ප්‍රශ්නය. 57

72. නිර්වාණ අරූප ප්‍රශ්නය. 57

73. නිර්වාණ සාක්ෂාත් කරණ ප්‍රශ්නය. 58

74. නිර්වාණ සිද්ධි ප්‍රශ්නය. 59

75. මහා අනුමාන ප්‍රශ්නය. 59

76. ධූතාංගානිශංස ප්‍රශ්නය. 60

77. යෝගි කථා ප්‍රශ්න...... 61

යෝගි කථා ප්‍රශ්නය 1 61

යෝගි කථා ප්‍රශ්නය 2 62

යෝගි කථා ප්‍රශ්නය 3 64

යෝගි කථා ප්‍රශ්නය 4 65

78. 67

79. 70

80. 71

81. 71

82. 72

83. 73

84. 74

85. 74

86. 75

87. 77

88. 77

89. 77

90. 78

91. 79

92. 79

93. 79

94. 79

95. 80

96. 80

97. 80

98. 81

99. 81

100. 82

101. 82

102. 82

103. 83

104. 83

105. 83

 

 

1. පූජා අප්‍රතිග්‍රහණ ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණන්ට කරන පූජා සත්කාරයන්හී ප්‍රයෝජනයක් තිබේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බෝධිමූලයෙහිදීම බුදුපියාණෝ සියලුම කෙලෙස් ප්‍රහීන කළ සේක. එසේනම් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ බුදුපියාණන් පූජා සත්කාර නොඉවසන බව කිවයුතු නොවෙයි. සැරියුත් තෙරණුවෝ මෙසේ වදාළහ. “දෙවි මිනිසුන් විසින් අසමසම වූ බුදුවරු පුදනු ලබති. එහෙත් බුදුවරු ඒ පූජා සත්කාරයන්හී නොඇලෙති. එය බුදුවරයන්ගේ ධර්මතාවයකි.” යනුවෙනි.

එහෙත් බුදුපියාණෝ “ආනන්දය, මාගේ ඇවෑමෙන් පසු අපගේ ශාස්තෘන් වහන්සේ දැන් නැතැයි නොසිතිය යුතුය. මා විසින් දේශනා කරන ලද ධර්ම විනය මාගේ ඇවෑමෙන් ඔබට අනුශාසනා කරන ශාස්තෘ කෙනෙකි” යයි වදාළහ. එම නිසා පිරිනිවියාවු බුදුපියාණන්ට කරන පුද සත්කාරයෝ වඳ නොවෙති. මෙසේ බුදුපියාණන් කෙරෙහි, ධර්මය කෙරෙහි අචල භක්තිය ඇත්තෝ පුද සත්කාර පවත්වා කුසල ධර්ම වඩා ගනිති. දෙව් මිනිස් සැප ලබති. නිවනට ළඟා වෙති.

 

2. ආවර්ජනා ප්‍රතිබද්ධ ප්‍රශ්නය.

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණන් සියල්ල දන්නේ නම් සමහර දේවල් ටික වේලාවක් මෙනෙහි කර පවසන්නේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුවරු දත යුතු සියල්ල දනිති. බුදුවරුන්ගේ සිත අතිපිරිසිදු නිසා, වේගවත් නිසා ඕනෑම දෙයක් වහා සිහි කළ හැකිය. යමා මහ පෙළහර පෑමේදී ශරීරයෙන් ගින්දර සහ ජලය එකවර නිකුත් වන්නා සේ පෙනෙන්නේ සිතේ ඇති වේගවත් බව නිසාය. එහෙත් සැබැවින්ම සිදු වන්නේ එක සිතකින් ගින්දරත් අනෙක් සිතකින් ජලයත් පිටකිරීමයි.

මහරජ, බුදුවරු සමහර දේවල් ටික වේලාවක් මෙනෙහි කර දැන ගන්නා බව සත්‍යය. සියල්ල වහා නොදකින බව සත්‍යය. පිහිට විය යුත්තන් සොයා යන්නේද දිනපතා අලුයම මහා කරුණා සමාපත්තියට සමවැදීමෙනි. මෙසේ මෙනෙහි කිරීම සඳහා බුදුපියාණන්ට ගත වන්නේ ඉතා සුළු කාලයකි. හකුළුවන ලද අතක් දික් කිරීමට ගතවනවාටත් වඩා සුළු කාලයකි. දික් කරන ලද අතක් හකුළුවන්නට ගතවනවාටත් වඩා අඩු කාලයකි. එක් අතක ඇති දෙයක් අනෙක් අතට ගැනීමට ගතවන කාලයටත් වඩා සුළු කාලයකි. ඇසි පිය හැරීමට ගතවනවාටත් වඩා සුළු කාලයකි. එසේ සුළු කාලයක් මෙනෙහි කර අතීතය, අනාගතය, වර්තමානය සම්බන්ධ ඕනෑම දෙයක් වදාරණ සේක.

බුදුවරුන්ට මෙසේ මෙනෙහි කළ හැක්කේ බුදුවරයකුගේ සිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලිටි වී නැති බැවිනි. පෘථග්ජන මිනිසුන්ට මෙසේ මෙනෙහි කළ නොහැක්කේ ඔවුන්ගේ සිත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වසා ගෙන ඇති බැවිනි.

 

3. දේවදත්ත ප්‍රවුජ්‍යා ප්‍රශ්නය.

මිලිඳු රජු -

ස්වාමීනි, දේවදත්ත පැවිදිව සංඝ භේදය කර කල්පයක් මුළුල්ලෙහි අවීචි මහා නරකයෙහි පැසෙන බව දැන දැනත් ඔහු පැවිදි කළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, දේවදත්ත පැවිදි නොවී ගිහිව සිටියේ නම් බොහෝ අකුසල් කර කල්ප කෝටි ගණන් නරකයෙන් නරකයට වැටෙමින් අප්‍රමාණ දුක් විඳින බව දිවැසින් දැක තමාගේ සසුනෙහි පැවිදි වූ අයට දුක් කෙළවර වන නිසා කරුණාවෙන් ඔහු පැවිදි කළ සේක. බලවත් පුරුෂයෙක් තමාගේ නෑයෙකුට හෝ මිතුරෙකුට රජ කෙනෙකුගෙන් දැඩි දඬුවමක් ලැබුණු විට කරුණු කියා දඬුවම සැහැල්ලු කර දෙන්නාක් මෙන් ඔහුට උරුම වීමට තිබූ බලවත් දුක් සැහැල්ලු කළ සේක. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් මහත්වූ රෝගයක් ඖෂධ බලයෙන් අඩුකර දෙන්නාක් මෙන් ඔහුට විඳීමට තිබූ බලවත් දුක් අඩුකර දුන් සේක.

ඒ දෙව්දත් තෙරද පෙර වෛරය නිසා බුදුපියාණන් මැරීමට නොයෙක් උත්සාහ ගෙන ඒ නොහැකිවූ තැන සංඝ භේදයද කර මියයන මොහොතෙහි බුදුගුණ සිහි කළේය. “ස්වාමීනි, මාගේ ලොව්තුරා බුදුපියාණෙනි, ඔබවහන්සේට අපරාධ කර මා කෙරෙහිද අංගුලිමාල කෙරෙහි දැක්වූ, නාලාගිරි ඇත්‍ රජ කෙරෙහි දැක්වූ, රාහුල කුමරු කෙරෙහි දැක්වූ කරුණාව දක්වනු මැනවි. මම සුදොවුන් මහ රජුට බෑණනුවන් වීමි. යශෝධරාවන්ට සහෝදරයා විමි. රාහුල කුමරුවන්ට මාමා වීමි. මේ නිසා මස් නරක (නිරා) දුකින් ගලවා ගත මැනව” යයි කියා බුදුන් සරණ ගියේය. මේ නිසා ඔහු මතු දිනක අවීචියෙන් මිදී සට්ඨිස්සර නම් පසේ බුදු කෙනෙක් වෙයි.

මහරජ, මෙසේ බුදුපියාණෝ ජල පහරට අසුව පහළ බලා යන දෙව්දත් උඩු ගඟ බලා හැරවූ සේක. අමාර්ගයට පැමිණි දෙව්දතුන් මාර්ගයට පැමිණ වූ සේක. ප්‍රපාතයක වැටී සිටි දෙව්දතුන්ට පිහිට වූ සේක.

 

4. විශ්වන්තර පෘථිවි කම්පා ප්‍රශ්නය.

මිලිඳු රජු -

ස්වාමීනි, පොළොව කම්පා වීම කරුණු අටක් නිසා සිදුවෙයි. එනම් බෝධිසත්වයන් මව් කුස ඉපදීම, බිහිවීම, බුදුවීම, දම්සක් දෙසීම, ආයු සංස්කාරයන් හැරීම, පිරිනිවන් පෑම, වාතය චංචල වීම සහ මහානුභාව සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආපෝ කසීණයට සම වැදීම යනුවෙනි. එසේ නම් වෙස්සන්තර රජු පුත්‍ර දානාදි මහ දන් දෙන කල සත්වරක් මහ පොළොව කම්පිත වූයේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, දන්දීම නිසා දිට්ඨධම්මවේදනීය වශයෙන් මෙලොවදීම විපාක ලැබූ සත් දෙනෙකි. බිම්බිසාර රජුට ගෙන යන මල් බුදුපියාණන්ට පුදා මහ සැප ලැබූ සුමන මාලාකරුය. ගමනක් යන විට අඹුව හා තමන් වරින්වර පොරවා ගෙන යන එකම සළුව බණ අසා බුදුපියාණන්ට පුදා ඒ දවසම නොයෙක් සැප ලැබූ ඒකසාටක බමුණාය. අනුන්ට බැල මෙහෙවර කරමින් ජීවත්ව සිටියදීත් සැරියුත් තෙරුන්ට දන් දී සිටු සැප ලැබූ පූර්ණය. යවවලින් කළ ආහාරයක් බුදුපියාණන්ට පුදා එදවසම එම කුසල් බලයෙන් කොසොල් රජුට අග මෙහෙසිය වූ මල්ලිකා දේවියය. තම නිවසට වැඩි කසයින් මහ තෙරුන් ඇතුළු සඟ අට නමක් දැක පිදීමට දෙයක් නැති නිසා තම කොණ්ඩය මසුරන් අටකට විකුණා එයින් දන්දී ඒ කුසල් බලයෙන් උදේනි රජුගේ අග මෙහෙසිය වූ ගෝපාල මාතා නම් දුප්පත් සිටු දුවය. රෝගාතුර තෙර නමකට කලවේ මස් කපා දන් දී මරණාසන්නව සිට බුදුපියාණන් දකිත්ම නිරෝගීව බණ අසා සෝවාන් වූ සුප්පියා උපාසිකාවය. කැවුමක් ඉනේ තබාගෙන දියට යන විට බුදුපියාණන් දැක එම කැවුම පුදා බණ අසා සෝවාන් වූ පුණ්ණා නම් දාසියය. මොවුන්ගේ කීර්තිය දෙවි මිනිසුන් අතර ඉතා ඉහළින් පැතිර ගියේය. එහෙත් මොවුන් දන් දෙන කල මහ පොළොව කම්පා නොවීය.

වෙස්සන්තර රජතුමා සිල්වතෙකි. එතුමා දන් දුන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මානයෙන්, වැරදි දැකීමෙන් නොව දාන පාරමිතාව පුරණු පිණිසමය. තමාගෙන් ධනය ඉල්ලා ගෙන පැමිණි යාචකයන් කැමති පරිද්දෙන් ධනය ලැබ සතුටුවනු දකිනු පිණිසමය. එතුමා දන් දුන්නේ භව සම්පත්තිය පතා නොවෙයි. ධන සම්පත්තිය පතා නොවෙයි. අනුන්ගේ සිත් ගන්නා පිණිස නොවෙයි. ආයුෂ, වර්ණ, සැප, බල ලබනු පිණිසත් නොවෙයි. පිරිවර ලබනු පිණිසත් නොවෙයි. දූ පුතුන් අඹුවන් ලබනු පිණිසත් නොවෙයි. උතුම් බුද්ධත්වය පතාම දන් දුනි. දිනක් බුදුපියාණෝ “මහණෙනි, මා වෙස්සන්තරව උපන් කල බුදු බව පතා ජාලිය, කෘෂ්ණජිනා යන දරුවන්ද, මද්‍රි දේවියද ආලයක් නොමැතිවම දන් දුනිමි” යයි වදාළහ.

වෙස්සන්තර රජු ලෝකයෙහි කිසිවෙකුට දිය නොහැකි වූ දාන වස්තූන් ආලය හැර දන් දෙන කල ඒ ගුණ සම්භාරය දැරිය නොහැකිව වාතය කම්පා විය. වාතය කම්පා වූ කල ජලය කම්පා විය. ජලය කම්පා වූ කල පොළොව කම්පා විය. උදාහරණයකින් කිවහොත් සහල් භාජනයක් ලිපේ තැබූ විට ගින්දර පළමුව භාජනය රත් කරයි. රත්වූ භාජනය ජලය රත් කරයි. රත් වූ ජලය සහල් රත් කරන්නාක් මෙනි. මේ මහ පොළොව ජලයෙහි පිහිටා ඇත. ඒ ජලය වාතයෙහිත්, වාතය හිස් අහසෙහිත් (අභ්‍යවකාශය) පිහිටා ඇත.

මහරජ, ලෝකයෙහි පුෂ්පරාග, වෛරොඩි, ඉඳුනිල් ආදී වශයෙන් බොහෝ මැණික් වර්ග තිබුණත් මේ සියලු මාණික්‍යයන් ඉක්මවා චක්‍රවර්ති රජුගේ චක්‍රවර්තී මාණික්‍ය රත්නයඅග්‍ර යයි කියනු ලැබෙයි. එය හාත්පස ආලෝක කරයි. එසේම මේ ලෝකයෙහි යම්කිසි දානයක් ඇත්නම් බුදුපියාණන් ජීවමාන කල කොසොල් මහ රජු දුන් අසදෘශ දානය උතුම් වෙයි. ඒ සියලු දානයන් ඉක්මවා වෙස්සන්තර රජුගේ මහා දානය අග්‍ර යයි කියනු ලැබෙයි. වෙස්සන්තර රජු අට හැවිරිදි වියේදී බුදු බව පතා ජීවිත පරිත්‍යාග කිරීමට සිතු මොහොතෙහිද, බමුණන්ට ඇතා දන් දුන් විටද, රජ සැප අත් හැර තපසට යන කලද, පූජකයාට දරුවන් දන් දුන් කලද, මහලු බමුණකුගේ වේෂයෙන් පැමිණි ශක්‍රයාට මද්‍රි දේවිය දන් දුන් කලද, වංක ගිරියට පැමිණි සියලු නෑයන්ගේ දුක් ගිනි නිවාලු කලද, ජයතුරා නම් තමන්ගේ නුවරට පැමිණ තවත් දන්දෙමියි සිතු මොහොතෙහිද යනුවෙන් සත්වරක් මහපොළව කම්පා විය.

 

5. සිවිරාජ ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, සිවි මහ රජු විසින් අන්ධවූ යාචකයෙකුට දෙඇස් දන් දුන් බවද, අන්ධවූ සිවි රජු හට නැවත දිව ඇස් උපන් බවද කියවෙයි. එය සිදුවූයේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, සිවි මහ රජු විසින් රජ සැපතින් යුත් ජීවිතයෙහි කිසිදු ලෝභයකින් තොරව අන්ධ බමුණෙකු මෙන් පැමිණ දෙඇස් ඉල්ලු සක් දෙවිඳුට බුදු බව පතා තම දෙඇස උගුලුවා දන් දුනි. ඇස් දන් දුන් සිවි රජ තම දානය ගැන බොහෝ සතුටට පත් විය. එම ප්‍රීතිය දින ගණනක්ම පැවතුනි.

නැවතත් සිවි රජු වෙත පැමිණි සක්දෙවිඳු “බෝධිසත්වයන් වහන්ස, ඔබ විඳින වෙහෙස දැක මම දෙව්ලොව සිට පැමිණියෙමි. එහෙත් ඔබට ඇස් දීමට මට නොහැකිය. ඔබ වහන්සේ දුන් දාන බලයෙන්ම නැවත ඇස් ලැබුව මැනව” යයි පැවසීය. එවිට සිවි රජු “ඇස් දන් දීමෙන් මට බොහෝ ප්‍රීති සොම්නස් ඇති විය. මේ සත්‍යානුභාවයෙන් මට දිව ඇස් ලැබේවා” යයි සත්‍ය ක්‍රියා කළේය. එවිට බොහෝ දුර පෙනෙන දිව ඇස් උපන්නේය.

මහරජ, මාංස ඇස නැතිවී ගිය කල නැවත එහි පෙනීමක් ඇති නොවෙයි. සිවි මහ රජුට ලැබුණේ භාවනාමය දිවැසය. භාවනා දියුණුව තුළින් ලැබූ පෙනීමය.

 

6. ශාසනායු ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ ආනන්ද තෙරුන්ට පන්දහසක් අවුරුදු සද්ධර්මය පවතින්නේය යයි වදාළහ. එසේනම් සුභද්‍ර පරිබ්‍රාජකයාට පිරිනිවන් පාන සමයෙහි “මාගේ ශාසනයෙහි භික්ෂුහු මනා ලෙස ප්‍රතිපත්තියෙහි යෙදෙන්නේ නම් රහතුන්ගෙන් ලෝකය හිස් නොවෙයි.” යයි වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණෝ “ආනන්දයෙනි, කාන්තාවන් ශාසනයේ පැවිදි නොවුයේ නම් දස දහසක් අවුරුදු සද්ධර්මය පවතියි. දැන් සද්ධර්මය පවතින්නේ අවුරුදු පන් දහසක් පමණි” යයි වදාළහ. මෙහිදී බුදුපියාණෝ ශාසනයේ විනාශය ද, ඉතිරිවූ ශාසනායුෂය ද දෙවි මිනිසුන්ට වදාළහ. උපමාවකින් කිවහොත් යම්කිසි විපතකින් වස්තුව විනාශ වූ මිනිසෙක්” මාගේ මෙපමණ වස්තුව නැතිවී ගියේය. ඉතිරුවූ වස්තුව මෙපමණය” යයි පෙන්වා කියන්නාක් මෙනි. එසේම සුභද්‍ර පරිබ්‍රාජකයාට “මාගේ භික්ෂුහු මනා ලෙස වාසය කරන්නේ නම් (සීල සමාධි ප්‍රඥාවෙහි හැසිරෙන්නේ නම්) ලෝකය රහතුන්ගෙන් හිස් නොවෙයි” යයි නිර්මල වූ ශාසන ප්‍රතිපත්තිය දක්වා වදාළහ. සිහිල් ජලයෙන් පිරුණු විලක් ඇත්නම් නිරතුරු වසිනා වැස්සෙන් එය නිතර පිරේ නම් ඒ විලේ වතුර නොසිඳෙන්නාක් මෙනි. ඇවිළෙන ගිනි ගොඩකට නැවත නැවතත් වියළි තණකොළ, ගොම වැරටි දැමූ විට වඩ වඩාත් එය ඇවිළෙන්නාක් මෙනි. නොනිමෙන්නාක් මෙනි. මෙසේ සම්බුදු සසුන ප්‍රතිපත්තිය මුල් කර පවතියි. බබළයි.

බුදු පියාණන් පිරිනිවී කාලයක් යන තුරු භික්ෂුහු රහත් බව ලබති. කල්‍ යාමේදී එසේ නොහැකිව අනාගාමී වෙති. සකෘදාගාමී වෙති. සෝවාන් වෙති. අවසන් සෝවාන් ලාභියාගේ ජීවිතය ක්ෂය වීමෙන් ධර්මය අවබෝධ කර ගැනීම හෙවත් අධිගමනය අතුරුදහන් වෙයි. පසුව භික්ෂුහු භාවනා කර මාර්ගඵල උපදවා ගත නොහැකිව සීලය පමණක් රක්ෂා කරති. ඉන්පසුව ශික්ෂාපද පමණක් රකිති. කල්‍ යාමේදී කුඩා කුඩා ශික්ෂාපදද කඩ කරති. වරද දුටු කල එකිනෙකාට චෝදනා නොකරති. මෙසේ සමථ විදර්ශනා ආදී භාවනා නොකරන සිල් පිරිසිදු නොකරන භික්ෂුහු ඇති වෙති. ඔවුන්ගේ ශිෂ්‍ය හිමිවරුද සිල් රැකීමට භාවනා කිරීමට අසමත් වෙති. එහෙත් උපසම්පදාව ලබති. පාපයට බැස සිටින එම භික්ෂුහු ධර්මයට කන් නොදෙන අතර ධර්මය තේරුම් නොගනිති. නූගත යුතු දේ උගන්නා අතර ධර්මය උගත යුතු බව, භාවිතා කළ යුතු බව නොසලකති. ශාසනය ලිහිල් කොට ගෙන සිව්පසය වැඩි කර ගැනීම පිණිස පිළිපදිති. ඔවුන්ගෙන් අන්තිම භික්ෂුවගේ ජීවිතය ක්ෂය වීමෙන් ප්‍රතිපත්තිය හෙවත් ධර්මය පිළිපැදීම අතුරුදහන් වෙයි.

අනාගතයේ රජදරුවෝ, ඇමතිවරු සහ රටවැසියෝ අධර්මිෂ්ඨ වෙති. කලට වැසි නොලැබෙයි. ගොවිතැන් පාලු වෙයි. සිවුපසය දිය නොහැකි වෙයි. ක්ලාන්ත වන භික්ෂුහු බුද්ධ වචනය උගන්වන්නට අසමත් වෙති. තමාටත් මතක තබා ගැනීමට අසමත්ව අටුවා හැර පාලි ධර්මය දරති. පාලි ධර්මයද දැරිය නොහැකි වෙති. අභිධර්ම පිටකය පිරිහෙයි. විනයත් පිරිහෙයි. යම්කිසි දිනෙක ධර්මිෂ්ට රජෙක් දහසින් බැඳි පියල්ලක් ඇතෙකු පිට තබා “බුදු දහමින් සතර පදයක බණ කියා මේ සියලු වස්තුව ගන්න” යයි තුන්වරක් නුවර වටේ යවාත් ධර්මය දන්නා කෙනෙක් නොලදින් මහා ශෝකීව හඬයි. ඒ දවස පර්‍යාප්තිය හෙවත් ධර්මය ඉගෙනීම අතුරුදහන් වෙයි.

කල්‍ යාමේදී මහණහූ කුඩා කහ පාට රෙදි කැබැල්ලක් හිසේ, අතේ හෝ බෙල්ලේ බැඳගෙන “අපි උපසම්පන්නයම්හ” යයි කියමින් අඹුදරුවන් සමඟ කෘෂිකර්මයෙන්, වෙළෙඳාමෙන් ජීවත් වෙති. මිනිස්සු ඒ දුසිල් පවිටු මහණුන්ට කුසල් පතා සාංඝික කර දානය දෙති. එයද අනුසස් සහිතය. පසුව නොයෙක් වැඩවල යෙදෙන්නාවූ ඔවුහු මේ කහකඩින් වැඩක් නැතැයි එය කඩා දමති. ඒ දවස මහණ වේෂය අතුරුදහන් වෙයි.

බුදුපියාණන්ගේ ශාරීරික ධාතු පන්දහසක් අවුරුදු පවතියි. පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේලා බුදුපියාණන්ගේ අධිෂ්ඨාන බලයෙන් පූජා සත්කාර ලැබෙන තැනට අහසින් වඩිති. කල් යාමේදී සෑම තැනම පූජා සත්කාර නොලැබෙයි. එකල ලෝ වැඩ පිණිස විසිර පවත්නට අධිෂ්ඨාන කළ සියලු ධාතුන් වහන්සේ මහ බෝමැඩට වැඩ, බුද්ධ රූපයක් මැවෙයි. ඒ දකින දෙව් බඹහු “අද බුදුපියාණන්ගේ ධාතු පරිනිර්වාණය සිදුවන්නේය” යයි මහත් සංවේගයට පැමිණ නොයෙකුත් පුද පූජා පවත්වති. එවිට බුදුපියාණන්ගේ අධිෂ්ඨාන බලයෙන් එයින් නැගෙන ගින්නෙන් හැම ධාතු ආදාහනය කරයි. ඒ දවස ශාසනායුෂය ගෙවෙයි.

 

7. කර්මක්ෂය ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, තථාගතයන් වහන්සේ සියලුම අකුසල් නසා බුදුවූයේ නම්, ශ්‍රී පාදයේ ගල් පතුරක් වැදීම, ලෝහිත පක්ඛන්ධිකා ආබාධය, වාතාබාධ වැනි දුක්ඛ වේදනා ඇතිවුයේ කෙසේද ?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, සියලුම දුක් වේදනා කර්මය මුල් කර නොමැත. දුක් වේදනා අට ආකාරයකින් උපදියි. එනම් වාතයෙන්, පිතෙන්, සෙමෙන්, සන්නිපාතයෙන්, ඍතු පෙරළීමෙන්, විෂම ආහාර ගැනීමෙන්, අනුන්ගේ ක්‍රියාවකින් සහ කර්මයෙනි. කර්මයෙන් වන ආබාධ අල්පය. අවශේෂ ආබාධ ඉතා බොහෝය. ගල් පතුරක් වැදීමෙන් වූ වේදනාව අනුන්ගේ ක්‍රියාවකින් උපන්නේය. කායිකාබාධ සෙම්, පිත් ආදිය නිසා උපන්නේය.

දෙව්දත් තෙර සේරිවාණීජ ආත්ම භාවයෙහි පටන් බොහෝ කාලයක් බෝසතුන් කෙරෙහි වෛර බැඳ ආවේය. සිදුහත් කුමරා තමාගේ නෑයෙක්‍ ය, බුදුපියාණන් තමන්ගේ ගුරුවරයාය යයි නොසලකා     “බුදුපියාණන් මරා බුද්ධත්වය ගනිමි” යයි සිතා නොයෙක් උත්සාහ කළේය. දිනක් ගිජ්ජුකූට පර්වතයට නැඟී බුදුපියාණන්ගේ සිරස මත වැටෙන සේ ගලක් පෙරළීය. එයින් ගල් පතුරක් ගැලවී විත් බුදුපියාණන්ගේ ශ්‍රී පාදයෙහි වැදී එතැන ලේ පිරිණි. මෙසේ මේ වේදනාව උපන්නේ කර්ම විපාකයකින් නොව අනුන්ගේ ක්‍රියාවකිනි. ලොහිත පක්ඛන්ධිකා (ලේ අතීසාරය) ආබාධය වා, පිත්, සෙම් කිපීමෙන් ඇතිවුණි. බුදුපියාණෝ සීවක නම් පරිබ්‍රාජකයාට මෙසේ වදාළහ. “සීවකය, දුක් වේදනා නොයෙක් ආකාරයෙන් උපදියි. වාතය කිපීමෙන් වේදනා හට ගනියි. පිත කිපීමෙන් වේදනා හට ගනියි. සෙම කිපීමෙන් වේදනා හට ගනියි. වා පිත් සෙම් යන තුනම කිපීමෙන් වේදනා හට ගනියි.දේශගුණය වෙනස් වීමෙන් වේදනා හට ගනියි. විෂම ආහාර ගැනීමෙන් වේදනා හට ගනියි. අනුන්ගේ ක්‍රියාවලින් වේදනා හට ගනියි. කර්මයෙන් වේදනා හට ගනියි. දුක් වේදනා, සැප වේදනා, මැදහත් වේදනා යන සියලු වේදනා හට ගන්නේ පෙර කළ කුසල් අකුසල් නිසා යයි යමෙක් පවසන්නේ නම් එය වැරදි මතයකි” යනුවෙනි.

 

8. විවේක ගුණ ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණන් පාරිලෙය්‍ය වනයෙහි තුන් මාසයක් විවේකීව වැඩ සිටියේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණන් විසින් කළ යුතු යමක් වූයේ නම්, වැඩිය යුතු යමක් වුයේ නම් ඒ සියල්ල බෝධි මූලයෙහිදී කර අවසන් විය. එහෙත් බුදුපියාණෝ තුන් මාසයක් විවේකීව ගත කළහ. සියලුම තථාගතයන් වහන්සේලා විවේකය කැමති වෙති. විවේකය ආයු වඩයි. ශරීර බලය දෙයි. කම්මැලිකම නැති කරයි. වීර්‍ය උපදවයි. සිත එකඟ කරයි. සිත සතුටු කරයි. විශේෂයෙන්ම තථාගතයන් වහන්සේලා විවේකයට කැමති වන්නේ එම කාලය තුළ නිවන් සැපය සහ සමාපත්ති සුවය විඳිය හැකි නිසාය. විවේකය සියලු බුදුවරයන් විසින් ප්‍රශංසා කරන ලද්දකි.

 

9. ත්‍රිමාසායු පරිච්ජේද ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, පරිනිර්වාණ සූත්‍රයේදී බුදුපියාණෝ ආනන්ද තෙරුන්ට “සතර ඍද්ධිපාද වැඩූ අයට කල්පයක් හෝ ජීවත් විය හැකිය” යයි වදාළහ. එසේ නම් මාරයා හට “තථාගත තෙමේ මෙයින් තුන් මාසයක් ඇවෑමෙන් පිරිනිවන් පාන්නාහ” යයි වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණන් ජන්ද, වීර්‍ය, චිත්ත, විමංසා යන සතර ඍද්ධිපාද වැඩූ අයට කැමති නම් කල්පයක් හෝ වැඩ සිටිය හැකිය යයි පැවසුවේ තථාගතයන් වහන්සේ කෙනෙකුට එබඳු ඍද්ධි බලයක් ඇති බව පැහැදිලි කර දීමටය. එසේ නොමැතිව එම ඍද්ධි බලය පෙන්වනු පිණිස නොවෙයි. මෙහි කල්පය යනු තමන් වහන්සේගේ මනුෂ්‍ය ආයු කාලයයි. බුදුපියාණෝ කාම, රූප, අරූප යන සියලු භවයන්ගේ ප්‍රයෝජන නොකැමති සේක. ඒවා පහත් ලෙස සැලකූ සේක. බුදුපියාණෝ “මහණෙනි, ස්වල්ප වූ ගුද මාර්ගය දුර්ගන්ධ වෙයි. එපරිදිම මම අසුරුසණක් පමණ කාලයක්වත් භවය වර්ණනා නොකරමි” යයි වදාළහ. බුදුපියාණෝ සියලු භවය අසූචි හා සමව දුටු සේක.

 

10. ආචාර්ය මුෂ්ටි ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “ආනන්ද, තථාගතයන්ගේ ධර්මයෙහි ගුරු මුෂ්ටියක් (ගුරුවරයාගේ අතෙහිම තබා ගත යුතු ධර්ම ශාස්ත්‍රය) නැත” යයි වදාළහ. එසේනම් මාලුංක්‍ය පුත්‍ර තෙරුන් ලෝකය ශාස්වතද? අශාස්වතද? යයි විමසූ විට පිළිතුරු නුදුන්නේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාර සතරකි. ඔව්, නැහැ වශයෙන් කෙළින්ම පිළිතුරු දෙයි. නැත්නම් හරවා ප්‍රශ්නයක් අසයි. විග්‍රහ කර පිළිතුරු දෙයි. නිහඬව සිටියි. ලෝකය ශාස්වතද? අශාස්වතද? සත්වයා මරණින් මතු සිටීද? නොසිටීද? ආදී ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නේ කරුණු කීපයක් නිසාය. පළමුවැන්න නම් සසරින් මිදීම සඳහා මෙම කරුණු දැනගැනීම අවශ්‍ය නොවීමයි. දෙවැන්න පෘතග්ජන (මඟඵල නොලැබූ) සිතට මෙබඳු තත්වයක් තේරුම් ගැනීම අපහසු වීමයි. ඒවාට පිළිතුරු දුන්නේ නම් වචනයේ තේරුම අනුව ගොස් වැරදි වැටහීමක් ඇතිකර ගැනීමට ඉඩ තිබුණි. එසේම තථාගතයන් වහන්සේලාගේ නිෂ්ඵල වචන කීමක්ද නොමැත.

ශාස්වත යනු ගසකින් ගසකට කුරුල්ලෙක් පියඹා යන්නාක් මෙන් ආත්මය යන බවයි. උච්ඡේද යනු පහනක් නිවී ගියාක් මෙන් නැතිවී යන බවයි. බුදුදහම මේ දෙකටම අයත් නොවෙයි. බුදුපියාණෝ “ඔහුත් නොවෙයි. අනෙකුත් නොවෙයි”.  යනුවෙන් පුනර්භවයේදී සිදුවන දෙය වදාළහ.

 

11. මරණභය ප්‍රශ්නය.

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “සියලු සත්වයෝ මරණයට බිය වෙති” යයි වදාළහ. එසේනම් නැවත රහතන් වහන්සේලා මරණයට බිය නැතැයි වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, චතුරාර්‍ය සත්‍යය නොදුටු කෙලෙස් සහිත සත්වයන්ට මරණය බිය ජනකය. සමහරු සර්පයාට බිය වෙති. සමහරු සිංහයාට බිය වෙති. සමහරු හස්තියාට, වලසාට බිය වෙති. එසේ සිදුවන්නේ මරණයට ඇති බිය නිසාය. මම, මාගේ යන වැරදි දැකීම ඔවුන් තුළ ඇති නිසාය. හාත්පසින් ගිනිගෙන ඇවිළෙන භයානක නරකයෙහි සිටින, එයින් මිදීමට කැමති නිරිසත්තු පවා මරණයට තැති ගනිති. කෙනෙකුට සර්පයෙක් දෂ්ට කළ විට වෙදදුරෙක් මන්ත්‍ර බලයකින් සර්පයා අල්වා ගෙන අවුත් සර්පයා ලවා විෂ උරවාලයි. මෙසේ තමන්ගේ සුව පිණිස ළඟට ගෙනා සර්පයාටත් ඒ පුද්ගලයා බිය වන්නාක් මෙනි.

එහෙත් ධම්මපදයේ එන “සියලු සත්වයෝ මරණයට බිය වෙති” යන වචනය රහතන් වහන්සේලා උදෙසා අනුචිතය. නොගැළපෙයි. සියලු කෙලෙස් නැසූ උන්වහන්සේලා මරණයට බිය නොවෙති. එයට හේතුව කිසිවක් මම, මාගේ වශයෙන් නොගැනීමයි.

 

12. පිරිත් ප්‍රශ්නය.

මිලිඳු රජු -

ස්වාමීනි, පිරිත් කීමෙන් මරණයෙන් මිදිය හැකිද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණන් රතන, ධජග්ග, ආටානාටිය, අංගුලිමාල ආදී ආරක්ෂක පිරිත් දේශනා කර ඇත්තේ නොගෙවුණාවූ ආයුෂ ඇති කුසල් සම්පන්න පුද්ගලයන්ටය. ලෙඩ රෝග විපත් ආදියෙහිදී ඔවුන්ට පිරිත බෙහෙතක් සහ ආරක්ෂාවක් වැනිය.

එහෙත් ආයුෂ ගෙවුණු තැනැත්තාට නොනැසී සිටීමට මෙය උපකාරී නොවෙයි. වියළි දිරා ගිය ගසකට පැන් වත් කළත් දළු නොදමන්නාක් මෙනි. ලෝකයෙහි කොපමණ බෙහෙත් වර්ග තිබුණත් ආයුෂ පිරිහුණු තැනැත්තාට ඒවායින් ප්‍රයෝජනයක් නොවන්නාක් මෙනි. එසේම පිරිතෙන් සියලු දෙනාම ආරක්ෂා නොවෙයි. සමහරුන්‍ට ආරක්ෂාව ලැබෙයි. සමහරුන්‍ට ආරක්ෂාව නොලැබෙයි. උපමාවකින් කිවහොත් ආහාරය කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා කරයි. යම් කෙනෙක් එය වැඩිපුර අනුභව කර අජීර්ණ වුවහොත් එයින් ඔහු මියයාමටද ඉඩ ඇත. මෙසේම අකුසල් කරන, කෙලෙස් භරිත, ධර්මය කෙරෙහි විශ්වාසයක් නැති පුද්ගලයන්ට පිරිතෙන් ආරක්ෂාවක් නොලැබෙයි.

 

13. ප්‍රත්‍යයලාභ ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණන්ට සිවුපසය නොවරදින බව සිවුපසය සුලභ වන බව කියවෙයි. එසේනම් වරක් පංචසාලක නම් බ්‍රාහ්මණ ගමට වැඩි බුදුපියාණන්ට කිසිම දෙයක් නොලැබ සේදු හිස් පාත්‍රය සහිතවම ආපසු පැමිණීමට සිදුවූයේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණෝ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිවුපසයෙහි ලාභී සේක. සිවුපසය ලැබීමෙහි පින් ඇති සේක. එහෙත් පංචසාලක බ්‍රාහ්මණ ගමට පිඬු පිණිස වැඩි බුදුපියාණන්ට හිස් අතින් ඒමට සිදුවුයේ මාරයාගේ උපක්‍රමයක් නිසාය. පවිටු මාර දිව්‍ය පුත්‍රයා එම ගමේ බ්‍රාහ්මණයන්ට ආවේශ වී දන්දීම වැළැක්විය. එදින දානය නොලැබුනේ බුදුපියාණන්ට පමණක් නොවෙයි. බුදුපියාණන් සමඟ වැඩි මහා සංඝයාටද දානය නොලැබුණි. එහෙත් එවිට දේවතාවෝ බොහෝ දෙනෙක් බුදුපියාණන්ගේ ශරීරයෙහි දිව්‍යමය රස ඕජස් බහාලමුයි අමෘතවූ දිව්‍යමය රස ඕජස් රැගෙන පැමිණියහ.

මහරජ, මෙහිදී සිදුවූයේ බුද්ධ බලයට වඩා මාර බලය ඉස්මතු වීමක් නොවෙයි. කුසල කර්මයට වඩා අකුසල කර්මය බලවත් වීමක් නොවෙයි. මඳ කුසලයකින් දෙව්ලොව ගිය මාරයා විසින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පෙරුම් පුරා ලබාගත් බුද්ධ බලවේගය යටපත් කිරීමක්ද නොවෙයි. කිසිවෙකුට බුදුපියාණන්ගේ ලාභයකට, රශ්මි මාලාවට, සියල්ල දත් නුවණට, ජීවිතයට අනතුරු කළ නොහැකිය. යමෙක් බුදුපියාණන්ගේ ලාභයකට, දානයකට අනතුරු කළොත් ඔහුගේ හිස පැළී යයි. මෙහිදී මාර දිව්‍ය පුත්‍රයා යෙදුවේ උපක්‍රමයකි. ඔහු කපටිකමින් බ්‍රාහ්මණයන්ට ආවේශවී සැඟවී සිට දානයට අනතුරු කළේය. අපරාධකරුවන් පෙනි පෙනී අපරාධ කළොත් ඔවුන්ට රජුගෙන් දඬුවම් ලැබෙයි. එහෙත් රහසින් සැඟවී සිට අපරාධ කළොත් ඔහු දඬුවමින් බේරෙන්නාක් මෙනි. විවාහක කාන්තාවක් තම ස්වාමි පුරුෂයාට පෙනි පෙනී අනාචාරයේ හැසිරුණොත් ඇයට දඬුවම් ලැබෙයි. රහසේ පරපුරුෂයන් සේවනය කරන්නේ නම් ඇය දඬුවමින් බේරෙන්නාක් මෙනි.

 

14. අනාපත්ති ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, යමෙක් විපාක නොදැන පව්කම් කරන්නේ නම් ඔහුට බොහෝ අකුසල් සිදුවන බව කියවෙයි. එසේනම් විනය පිටකයෙහි “මේ සත්වයා මරමි” යයි නොදන්නා අයටද පව් නැතැයි සඳහන් වන්නේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, විශාලා මහනුවර භික්ෂු නමක් පිඬු සිඟා වඩිද්දී අනවසරයෙන් නිවසකට ඇතුළුවී රෙද්දක් එළා තිබූ පුටුවක වඩි විය. එහි රෙද්දකින් වසා කුඩා බිළිඳකු නිදි කරවා තිබු අතර භික්ෂුන් වහන්සේ වාඩිවීම නිසා ඒ දරුවා මිය ගියේය. එම භික්ෂුව විසින් මෙම සිද්ධිය බුදුපියාණන්ට සැළ කළ විට, ඒ බව දැනගෙන කළේදැයි විචාරා, නොදැන වූ බව පැවසූ කල පාපයක් නැතැයි වදාළහ. එහෙත් මින් පසු නිවැසියන් විචාරාම අසුන් ගන්නැයි අවවාද කළ සේක.

තවත් වරෙක භික්ෂු නමක් විෂ මිශ්‍ර භෝජනයක් ලැබ විහාරයට ගෙන ගොස් හිතවත් භික්ෂු නමක් වළඳවා විෂයෙන් මළ කල මහා ශෝකයෙන් බුදුපියාණන් කරා ගොස් සැළ කළේය. එවිට බුදුපියාණෝ ඒ බව දැනගෙන කළේදැයි විචාරා නොදැන වූ බව පැවසූ විට පව් නැතැයි වදාළහ. කර්මය යනු සිතා මතා කරන ක්‍රියාය. දරුවා මිය ගියද, භික්ෂු නම මිය ගියද ඔවුන් මැරීමේ චේතනාවක් කිසිවෙකුට නොතිබුණි. මේ අනුව අකුසල් විපාක නොදැන පව් කරන්නාට බොහෝ අකුසල් රැස්වන බවත්, “මේ ක්‍රියාව නිසා මේ සත්වයා මිය යයි” කියා නොදන්නා අයට පව් නැති බවත් සත්‍යය.

 

15. පිරිස් පරිහරණ ප්‍රශ්නය.

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “ආනන්දයෙනි, තථාගතයන් වහන්සේට මම භික්ෂු සංඝයා පරිහරණය කෙරෙමි කියා හෝ භික්ෂු සංඝයා මා නිසා සිටිති කියා හෝ සිතක් ඇති නොවෙයි” යයි වදාළහ. එසේනම් “දැන් මම බොහෝ භික්ෂු සංඝයා පිරිවරා සිටින්නාසේම අනාගතයේ උපදින මෛත්‍රී බුදුපියාණෝද බොහෝ භික්ෂු සංඝයා පිරිවරා සිටිති” යයි වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණෝ භික්ෂු සංඝයා අනුව යන කෙනෙක් නොවෙති. භික්ෂු සංඝයා බුදුරජාණන් අනුව යති. බුදුපියාණන් ‘මම’ යනුවෙන් වදාළේ සම්මුතියක් වශයෙනි. බුදුපියාණන්ට සත්කාය දෘෂ්ටිය (තමා තුළ පුද්ගලයෙක් සිට ඇසීම, බැලීම, ආඝ්‍රාණය කිරීම, රස විඳීම, ස්පර්ශය, සිතීම ආදිය කරනවායයි සිතීම) නැති බැවින් මම මාගේ වශයෙන් ගැනීමක්ද නැත. කිසිවක් හෝ කිසි කෙනෙකු කෙරෙහි ඇලීමක්ද නැත. සියලු ලෝක සත්වයාට එකසේ පිහිට වන සේක”. මෛත්‍රී බුදුපියාණෝ බොහෝ භික්ෂු සංඝයා පිරිවරා සිටිති” යයි වදාළේ මෛත්‍රී බුදුපියාණන්ගේ ස්වාභාව ගුණය දක්වනු පිණිසය.

16. අභෙද්‍ය පිරිස් ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණන් අභේද්‍ය පිරිස් (බිඳිය නොහැකි) ඇති කෙනෙක් යයි පැවසෙයි. එසේනම් දෙව්දත් තෙරුන් පන්සියයක් භික්ෂුන් තමාගේ පැත්තට හරවා ගත්තේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණන්ට භේද නොවන පිරිස් ඇති බව සත්‍යය. බුදුපියාණන් විසින් කරන ලද අකටයුතු ක්‍රියාවක් නිසා හෝ කියන ලද වැරදි වචනයක් නිසා හෝ කිසිවෙක් භේදවී බුදුපියාණන් අත් හැර ගිය බවක් කිසි තැනක සඳහන් නොවෙයි. එබඳු දෙයක් ලොව කිසිදා සිදුවන්නේත් නැත. මෙහිදී සිදුවූයේ දෙව්දත් තෙරුන් බොරු කියා භික්ෂුන් පිරිසක් රවටාගෙන යෑමයි. ඒ භික්ෂුහුද සත්‍යය වැටහුණු කල ආපසු පැමිණියහ.

මහරජ, කපටි, කේළාම් කියන පුද්ගලයින් ඇති විට නොබිඳෙන පිරිසක් නොමැත. මෙබඳු පුද්ගලයන්ගේ බස් අසා මෑණියෝ පුත්‍රයා හා අමනාප වෙයි. පියා පුත්‍රයා හා අමනාප වෙයි. යහළුවා තම ප්‍රියතම යහළුවාගෙන් වෙන් වෙයි. සහෝදරයා සහෝදරිය හා අමනාප වෙයි. ශක්තිමත් වූ නැවක් රළ වේගයෙන් බිඳෙයි. රත්‍රන් පවා ලෝහ කලවම් වූ විට බිඳෙයි. වෙනස් වෙයි.

 

17. ශ්‍රේෂ්ඨ ධර්ම ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ වාසෙට්ඨ බ්‍රාහ්මණයාට ගුණ ධර්මය උතුම් යයි වදාළහ. එසේනම් “ධර්මය දුටුවාවූ සෝවාන් උපාසකයාද පෘථග්ජන උපසම්පන්න භික්ෂුවක් හෝ සාමණේර නමක් දුටු විට ආසනයෙන් නැඟී සිටිය යුතුය. පසඟ පිහිටුවා වැදිය යුතුය” යයි වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, යම් යම් ගුණධර්මයන් නිසා පැවිදි අය සම්මානයට සුදුසු වෙති. ගිහියන්ට වඩා පැවිදි අය උතුම්‍ ය. එයට හේතුව ඔවුන් ප්‍රතිපත්තියෙහි හැසිරෙණ, සන්සුන් ඉරියව් ඇති, කය වචන සංවර වූ, ඉන්ද්‍රිය සංවර වූ ඉවසීමෙන් යුක්තවූ, කීකරු, තනිව හැසිරෙණ, සිතෙහි එකඟබව ඇති, පාපයෙහි ලජ්ජාබය ඇති, සීලාදි ගුණධර්මයෙහි ඇලුණු, පංචකාමයෙහි නොඇලුණු, වීර්‍යය ඇති, අප්‍රමාද, සිවුරු දරන, හිස මුඩු බව ඇති පිරිසක් වීමය. මේ ගුණ ධර්මයන්ගෙන් සම්පූර්ණ බැවින් ඔවුහු රහත්බව ලබති. නිවනට පැමිණෙති. මේ ශ්‍රමණ ගුණධර්ම සෝවාන් වුවද ගිහියා තුළ නොමැත.

පැවිදිවීම නිසා රහතන් වහන්සේලා ආසන්නයට ගියේ යයි සිතා සෝවාන් උපාසක තෙම පෘථග්ජන හෙවත් සෝවාන් නොවූ භික්ෂුවට වැඳිය යුතුය. උන්වහන්සේලා අප්‍රමාණවූ ශික්ෂාපදවල සම්පූර්ණ වුවත් මා එසේ නොවෙමියි සිතා වැඳිය යුතුය. උන්වහන්සේලා සීල සුගන්ධයෙන් යුතු යයි සිතා වැඳිය යුතුය. උන්වහන්සේලා අන් අය පැවිදි කිරීමෙන්, උපසම්පදා කිරීමෙන් සම්බුද්ධ ශාසනය වර්ධනය කරන්නේය යයි සිතා වැඳිය යුතුය. භික්ෂුහු ධර්මය දරන්නාසේම අන් අයටද කියා දෙති යයි සිතා වැඳිය යුතුය. යම්කිසි රජකුමරෙක් පුරෝහිතයාගෙන් ශිල්ප උගනියි. පියරජුගෙන් පසු රජකමට පැමිණියද ගුරුවරයා දුටු විට “මේ මාගේ ගුරුවරයා” යයි සිතා ආසනයෙන් නැඟී සිටියි. වඳියි. එලෙසම සෝවාන්වු උපාසකයාද පෘථග්ජන භික්ෂුවක් දුටු විට උන්වහන්සේලා ශාසන වංශය දරතියි සිතා වැඳිය යුතුය.

මහරජ, භික්ෂුන් වහන්සේලා ගේ ශ්‍රේෂ්ඨ බව, මහත් බව ප්‍රකාශ කරන තවත් කරුණක් ඇත. ගිහියෙක් රහත්වුවහොත් ඔහු පැවිදි විය යුතුය. එසේ නැතහොත් පිරිනිවන් පෑ යුතුය. ගිහිහෙයි සිට උතුම් රහත් බව දැරිය නොහැකිය.

 

18. උණුලේ නිර්ගත ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණන් සියලු සත්වයන්ට හිත වැඩ සලසන සේක. එසේනම් බුදුපියාණන් අග්නිස්කන්ධෝපම ධර්ම දේශනාව කරන කල සැට නමක් භික්ෂුන් උණු ලේ වමනය කළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, ඒ සැට නමක් භික්ෂුන්ගේ මුඛයෙන් උණු ලේ වමනය වීම බුදුපියාණන් නිසා සිදුවූවක් නොවෙයි. අනුන් නිසා සිදුවූවක්ද නොවෙයි. එම භික්ෂුන් විසින්ම කර ගන්නා ලද්දකි. කෙසෙල් ගස සහ උණ ගස තමා නිසා උපන් දෙයින්ම නසියි. මං පහරණ සොරු තමන් කර ගත් දේ නිසාම නොයෙක් දඬුවම් වලට ලක්වෙති. මරණ දඬුවමටද ලක්වෙති. මෙලෙස වැරදි ලෙස හැසිරෙණ අය තමන් කර ගත් දෙය නිසාම නසිති.

බුදුපියාණෝ ක්‍රෝධයෙන් නොව හිතානුකම්පාවෙන්ම ධර්ම දේශනා කරන සේක. මෙසේ ධර්ම දේශනා කරන කල ඒ ධර්මයෙහි මනා ලෙස හැසුරුණු අය අර්හත් ඵලය අවබෝධ කරති. වරදවා හැසුරුණු අය සසරට වැටෙති. යම් කෙනෙක් අඹ ගසක් සොලවන කල ශක්තිමත් නැටි ඇති අඹ නොවැටී, දුර්වල නැටි ඇති අඹ බිම වැටෙන්නාක් මෙනි.

බුදුපියාණෝ මහා සංඝයා පිරිවරා ගෙන කොසොල් රට මහා මාර්ගයක වඩින අවස්ථාවකදී හාත්පසින්ම ගිනිගෙන ඇවිළෙන ගිනි කඳක් දැක, භික්ෂුන් වහන්සේලාට එය පෙන්වා මෙසේ වදාළහ. “මහණෙනි, සිත කය වචනයෙහි සංවර බවක් නැති, සිංහ හම පොරවාගත් කොටළුවෙකු මෙන් අර්හත් ධජයවූ සිවුර දැරීමෙන් පමණක් බ්‍රහ්මචර්‍යාව ලොවට ප්‍රකාශ කරන්නාවූ දුසිල්වත් භික්ෂුවක් රූමත් කාන්තාවක් වැළඳ ගෙන සිටිනවාට වඩා හාත්පසින් ගිනිගෙන ඇවිළෙන ගිනි කඳක් වැළඳ ගෙන මිය යාම වඩා යහපත්ය. එයට හේතුව එබඳු දෙයකින් ඔහු මිය ගියත් නරකයට නොයන හෙයිනි. බ්‍රහ්මචර්‍යාවෙහි හැසිරෙමියි (මෛථූන සේවනයෙන් වැළකී සිටීම) ප්‍රතිඥා දී කාන්තාවන් නොමනා ලෙස ඇසුරු කිරීම ඔහුට බොහෝ දුක් පිණිස වෙයි. බොහෝ අවැඩ පිණිස වෙයි. මරණින් මතු නරකයෙහි උපදියි. එසේම දුසිල්වත් භික්ෂුවක් සැදැහැවතුන් පසඟ පිහිටුවා කරන නමස්කාරය ඉවසනවාට වඩා තියුණු මුවහත ඇති ආයුධයකින් පහර කෑම වඩා යහපත්‍ ය. එයින් ඔහු මියගියත් නරකයට නොයන හෙයිනි. දුසිල්වත්ව සිට අන් අයගේ වැඳුම් පිදුම් ගැනීම ඔහුට බොහෝ අහිත පිණිස වෙයි. මරණින් මතු නරකයෙහි උපදියි.

දුසිල්වත් භික්ෂුවක් සැදැහැවතුන් ශ්‍රද්ධාවෙන් දෙන සිවුරු පරිභෝග කරනවාට වඩා ගිනිගෙන දිලිසෙන ලෝහ දැලකින් ශරීරය වෙලා ගැනීම වඩා යහපත්ය. එයින් ඔහු මියගියත් නරකයට නොයන හෙයිනි. දුසිල්වත්ව සිට අනුන්ගේ සිවුරු පරිභෝග කිරීම ඔහුට බොහෝ කලක් අහිත පිණිස වෙයි.

දුසිල්වත්ව සිට සැදැහැවතුන් ශ්‍රද්ධාවෙන් දෙන දානය වළඳනවාට වඩා ගිනිගෙන දිලිසෙන ලෝහ ගුලියක් ගිලීම වඩා යහපත්ය. එයින් ඔහු මිය ගියත් නරකයට නොයන හෙයිනි. දුසිල්වත්ව සිට සැදැහැවතුන්ගේ දානය වැළදීම ඔහුට අහිත පිණිස වෙයි.

දුසිල්වත්ව සිට සැදැහැවතුන් ශ්‍රද්ධාවෙන් දෙන ඇඳ පුටු පරිභෝග කිරීමට වඩා ගිනිගෙන දිලිසෙන යකඩ පුටුවක වාඩිවීම හෝ යකඩ ඇඳක සයනය කිරීම වඩා යහපත්ය. එයින් ඔහු මිය ගියත් නරකයට නොයන හෙයිනි.

දුසිල්වත්ව සිට සැදැහැවතුන් විසින් ශ්‍රද්ධාවෙන් තනවා දෙන විහාරවල වාසය කිරීමට වඩා ගිනිගෙන දිලිසෙන ලෝහ කටාරමකට (සැළියකට) බැසීම වඩා යහපත්ය. එයින් ඔහු මිය ගියත් නරකයට නොයන හෙයිනි.

එම නිසා බුදු සසුනෙහි පැවිදිව අර්හත් ධජය වූ සිවුර දරණ භික්ෂුන් විසින් දායකයන් ශ්‍රද්ධාවෙන් දෙන සිවුපසය වළඳන්නේ නම් සීල, සමාධි, ප්‍රඥාවෙහි හැසිරී ඔවුන්ගේ දානය මහත්ඵල මහානිශංස කළ යුතුය. පැවිදි බවද සඵල කර ගත යුතුය යනුවෙනි.

එම දේශනාව ඇසූ සමහර භික්ෂුහු රහත් වූහ. සැටක් පමණ දුශ්ශීල භික්ෂුන්ට තමන් කළ පව් සිහිවී ඒවා දරාගත නොහැකි විය. ඔවුන්ගේ හදවත උණුව මුඛයෙන් උණු ලේ වමනය විය. සැටක් පමණ භික්ෂුහු අපට දිවි හිමියෙන් පිරිසිදු ලෙස සිල් රකින්නට නොහැකිය යයි කියා ගිහි වූහ. මෙසේ ඔවුහු තමන් කරගත් දෙයින්ම විනාශ වූහ.

මහරජ, ආහාරය සියලු සත්වයන්ගේ ජීවිත ආරක්ෂා කරයි. බොහෝ දෙනා ආහාර අනුභව කර සුවපත් වෙති. සමහරු ආහාර වැරදි ලෙස අනුභව කර අජීර්ණ ආදී රෝග සාදා ගනිති. ජීවිතය නැති කර ගනිති. බුදුපියාණෝ සියලු දෙවි මිනිසුන්ට සද්ධර්මය නැමැති අමෘතය දෙන සේක. බොහෝ දෙනා එය පානය කර චතුරාර්ය සත්‍යය අවබෝධ කරති. නිවන් දකිති. සමහරු එය වැරදි ලෙස පානය කර දුකට පත් වෙති.

 

19. සේල ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ සිත කය වචනය සංවරවීම යහපත් බවත් ඇස කන නාසය දිව ශරීරය සිත ආදී සියලු තැන සංවරවු භික්ෂුව සසර දුකින් මිදෙන බවත් වදාළහ. එසේනම් සේල බ්‍රාහ්මණයාට සිව්වණක් පිරිස මැද කෝසෝහිත වත්ථගුය්හ නම් පුරුෂ ලක්ෂණය දක්වා වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, උගත් බ්‍රාහ්මණයෙකු වූ සේල බ්‍රාහ්මණයා බුදුපියාණන් ආපණ නම් ගමෙහි වැඩ වසන බව තම මිතුරන්ගෙන් අසා “බුදුවරු නම් ලෝකයේ අති දුර්ලභය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දන්නා ශාස්ත්‍රය මම හොඳින් දනිමි. උන්වහන්සේ බුදු නොබුදු බව පරික්ෂා කරමි” යයි සිතා බුදුපියාණන් වෙත පැමිණ වැඳ එකත්පසෙක සිට දෙතිස් මහාපුරුෂ ලක්ෂණ සෙවීය.

බොහොමයක් ලකුණු ඔහු දුටු අතර පැහැදිලිව නොපෙනෙන මහා පුරුෂ ලක්ෂණ දෙකක් කෙරෙහි ඔහුට සැක ඇති වුණි. ඒ නිසා ඔහු තුළ පැහැදීමක් ඇති නොවීය. එසේ සැක ඇති වූයේ කෝසෝහිත වත්ථගුය්හ ලක්ෂණය (පුරුෂ ලිංගය ඇතුන්ගේ සහ වෙනත් බොහෝ සිවුපාවුන්ගේ මෙන් ශරීරය තුළට ගිලී තිබීම ) සහ පහුත ජිව්හ හෙවත් පළල් වූ දිව ලක්ෂණය පිළිබඳවය. තමන් කෙරෙහි සැක ඉපදවූ ඔහුට ධර්මය අවබෝධ කරවන පිණිස බුදුපියාණෝ ඍද්ධියෙන් ඒ හා සමාන කයක් මවා කෝසෝහිත වත්ථගුය්හ ලක්ෂණය පෙනෙන්නට සැලැස්වු සේක. එසේම දිව බැහැර කර දෙකන් සිදුරු පිරමැදීමද, නාසය පිරිමැදීමද පමණක් නොව පුළුල් දිවෙන් නළල් තලය වැසීමද කළ සේක. සේල බමුණා පමණක් එය දුටුවේය. අන් අය නුදුටුවෝය. යමෙකුට යක්ෂයෙක් ආවේශ වන්නේ නම් අන් අය යක්ෂයා නොදකිති. ආතුරයා පමණක් දකියි. එසේම බුදුපියාණන් කෙරෙහි සැක ඉපදවු අය පමණක් ඒ ප්‍රාතිහාර්‍යය දකිති. අන් අය නොදකිති.

යමෙකුට ධර්මය අවබෝධ වන්නේ යම් ආකාරයකින්ද බුදුපියාණෝ ඒ ආකාරයෙන් ඔහුට ධර්මය අවබෝධ කරති. දක්ෂ වෛද්‍යවරයෙක් රෝගියාට ගැළපෙන බෙහෙතකින් ඔහු සුව කරන්නාක් මෙනි. මෝරා ගිය දරු ගැබ ඇති ස්ත්‍රිය වෛද්‍යවරයාට නොපෙන්විය යුතු ස්ථානද පෙන්වන්නීය. එලෙසම බුදුපියාණෝ ධර්මය අවබෝධ කරවනු පිණිස ඍද්ධියෙන් කෝසෝහිත වත්ථගුය්හ ලක්ෂණය පෙනෙන්නට සැලැස්වූ සේක. යමෙකුට හෘදය වස්තුව දැක ධර්මය අවබෝධ වන්නේ නම් බුදුපියාණෝ ඔහුට හෘදය වස්තුව පෙන්වා දහම් අවබෝධ කරවන සේක. අනුන්ගේ සිත් දැන ධර්ම දේශනා කරන බුදුපියාණෝ ධර්මය අවබෝධ කරවන්නට නොයෙක් උපා දනිති.

අකමැත්තෙන් මහණව ජනපද කල්‍යාණිය ගැනම සිතමින් සිටි තමන්ගේ එකම සහෝදරයා වූ නන්ද තෙරුන් දෙව්ලොවට කැඳවා ගෙන ගොස් දෙවඟනන් පෙන්වා හොඳින් බඹසර රැක්කොත් ඔවුන් ලබා දෙන බවට ඇප වූ බුදුපියාණෝ නන්ද තෙරුන්ගේ සිත මහණදම් පිරීමට යොමු කරවූ සේක. නන්ද තෙරණුවෝ ටික දිනකින්ම භාවනා කර රහත් වූහ.

එසේම චුල්ලපන්ථක තෙරුන්ට ගැළපෙන කමටහන ලබා දුන්නේද බුදුපියාණෝය. චුල්ලපන්ථක තෙරුන්ට පැවිදි වී සාර මසක් ගතවීත් එක ගාථාවක්වත් කටපාඩම් කර ගත නොහැකි විය.මේ ගැන උරණවූ මහාපන්ථක තෙරණුවෝ ඔහුට විහාරයෙන් පිටව යන්න යයි පැවසූහ. චුල්ලපන්ථක තෙරුන් එන පෙරමඟට වැඩි බුදුපියාණෝ “චුල්ලපන්ථක ඔබ කොහේ යන්නේද? මේ ශාසනය මගේ මිස ඔබගේ සහෝදරයා සතු දෙයක් නොවෙයි” යයි පවසා බුදුනුවණින් ඔහුගේ පෙර භවය විමසා බැලූ සේක. එවිට එක් කලෙක මොහු රජෙකුව සිට සිවුරඟ සෙනඟ පිරිවරා ඇතු පිටින් නුවර පැදකුණු කරන්නේ මුහුණෙන් ගැලු දහඩිය සළුවකින් පිස, එය අපිරිසිදු වූ බව දැක, අනිත්‍ය භාවනා කළ කුසලයෙන් මේ භවයේදී රහත්වන බව දැන රෙදි කඩක් දී “දූවිලි හරිමි දූවිලි හරිමි” යයි කියමින් හුණ පිස දමන්නැයි පැවසූ සේක. එසේ කරද්දී පෙර භවයේදී වැඩූ අනිත්‍ය භාවනාව අළු යට තිබූ ගිනිපුපුරු සේ මතුවිය. පසුව එය වඩා සියලු කෙලෙසුන් නසා රහත්විය.

මහරජ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දුටු සේල බමුණා පැවිදි වී නොබෝ දිනකින්ම කෙලෙසුන් නසා රහත්විය. මෙසේ බුදුපියාණෝ ධර්ම දේශනාවෙහි දක්ෂවූ සේක.

 

20. මෝඝපුරිසවාද ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ පිරිසිදු වචන ඇති සේක. එසේ නම් සුදින්න නම් තෙරුන්ට හිස් පුරුෂයෙකැයි නිග්‍රහ කළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණෝ සුදින්න නම් තෙරුන්ට පළමුවන පාරාජිකාව (භික්ෂුත්වය නැතිවන කරුණු) පනවමින් ඔහු හිස් පුරුෂයෙකැයි වදාළහ. එසේ කළේ දුෂ්ට සිතකින් හෝ හිංසා කිරීමේ අදහසින් නොවෙයි. භික්ෂුවක් වී සිටත් මොලොවදීම නිවන අවබෝධ කර නොගන්නේ නම් සැබැවින්ම ඔහු හිස් පුරුෂයෙකි. එම නිසා එය සත්‍ය වචනයකි.

කෙනෙකු අපරාධයක් කළ විට අන් අය ඔහුට පසඟ පිහිටුවා වැඳීමෙහි හෝ ගරු සත්කාර කිරීමෙහි සිරිතක් නැත. අපරාධය කළ පුද්ගලයා බැණුම් ඇසීමට සුදුසු වන්නේය. නිග්‍රහයට සුදුසු වන්නේය. ඔහුට හිංසාත් කරති. ධනය රාජ සන්තක කරති. දිවි නසති. එසේම බුදුපියාණන්ගේ නුසුදුසු වචන ඇසීමෙන් දෙවියන් සහිත ලෝවැසියෝ බිය වෙති. ලජ්ජා වෙති. වෛද්‍යවරයෙක් බොහෝ සේ අසාධ්‍ය වූ රෝගියෙකුට මෘදු බෙහෙත් නොදෙයි. රෝගයට ගැළපෙන තියුණු බෙහෙත්ම දෙයි. එලෙසම බුදුපියාණෝ කෙලෙස් නැමැති රෝගය සුවකිරීම සඳහා අවවාද නැමැති බෙහෙත් දෙන සේක.

එසේම බුදුපියාණන්ගේ පරුෂ වචනය වුවත් කරුණා සහගතය. අර්ථවත්ය. එය අසන්නන්ගේ කෙලෙස් නැති කරන සුලුය. උණුවතුර වුවත් යම් යම් දේවල් මෙලෙක් කරන්නාක් මෙනි. බුදුපියාණන්ගේ පරුෂ වචනය වුවත් කරුණා සහගත බැවින් එය ඵලදායි වෙයි. යම්සේ දුර්ගන්ධ වූ නීරසවු බෙහෙතද සත්වයන්ගේ සියලු රෝග සුව කරන්නාක් මෙනි. එසේම පර්වතයක් සමාන පුළුන් ගොඩක් කෙනෙකුගේ ශරීරයට වැටුණත් හානියක් නොවන්නාසේ බුදුපියාණන්ගේ පරුෂ වචනය වුවත් කිසිවෙකුට දුකක් නූපදවයි.

 

21. අචේතන වෘක්ෂ ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ ගස්වලට සිතක් නැති බව, කිසිවක් නොදැනෙන බව වදාළහ. එසේනම් ඵන්දන ජාතකයෙහි කෝන් වෘක්ෂය කථා කළ බව සඳහන් වන්නේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, ඵන්දන ජාතකයෙහි තමා කපන්නට පැමිණි භාරද්වාජ වඩු බ්‍රහ්මණයාට කෝන් වෘක්ෂය කථා කළාය යන්නෙන් අදහස් වන්නේ ඒ වෘක්ෂයට අධිපති වෘක්ෂ දේවතාවා කථා කළ බවයි. ගස කථා කළ බව පවසන්නේ ලෝක ව්‍යවහාරයට අනුවය. ධාන්‍ය පුරවන ලද ගැලට ධාන්‍ය ගැල යයි කියනු ලැබෙයි. සැබවින්ම එය ධාන්‍ය වලින් තනන ලද ගැලක් නොවෙයි. ලී වලින් කරන ලද්දකි. එලෙසම ගස් වලට කථා කළ නොහැකිය. සිතක් නැත.

 

22. චුන්ද භත්ත ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ චුන්ද කර්මාර පුත්‍රයාගේ දානය වළඳා බලවත් සේ අසනීප වූ සේක. එසේ නම් සුජාතාවගේ සහ ඔහුගේ දාන අනෙක් දානයන්ට වඩා මහත්ඵල වන බව වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණෝ කුසිනාරා නුවරට යන අතර පාවා නම් නුවරට වැඩ චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ (කර්මාන්තකරු) අඹ උයනෙහි ලැගුම් ගත් සේක. එවිට චුන්ද කර්මාර පුත්‍රයා සතුටින් පැමිණ බුදුපියාණන් ප්‍රමුඛ මහා සංඝයාට දනට ආරාධනා කළේය. චුන්ද කර්මාර පුත්‍රයා බුදුපියාණන්ට අවසන් දානය සකස් කරන බව දුටු දෙවිවරු “අනේ, අප බුදුපියාණෝ සුජාතා නම් සිටු දියණිය දුන් කිරිබත වළඳා ලොවුතුරා බුදුව වසර හතළිස් පහක් මුළුල්ලෙහි අපට දහම් දෙසු සේක.  අද චුන්ද කර්මාර පුත්‍රයාගේ දානය වළඳා පිරිනිවන් පාන සේක. බුදුකෙනෙකුන් ලොව පහළවීම දුර්ලභය” යයි සිතා බොහෝ දිව්‍යමය රස ඕජස් ගෙන බුදුපියාණන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කළ සුකර මද්දවයෙහි යෙදූහ. එම දිව්‍යමය රස ඕජස් ආයු සංස්කාර හැර තිබූ, ස්වාභාවයෙන්ම දුර්වලව තිබූ ශරීරයට දැරිය නොහැකි තරම් විය.

දානය වැළඳු පසු යටපත්වී තිබුණු ලෝහිත පක්ඛන්දිකා (ලේ අතීසාරය) ආබාධය යළි මතුවිය. ස්වාභාවයෙන්ම දහසක් ඇතුන්ගේ ශක්තිය ඇති බුදුපියාණන්ට රෝගය හටගත් මොහොතෙහි පටන් ඇවිදීමද අපහසු විය. සසර අලුම් කරන සත්වයන්ට (මිනිසුන්ට) සසර දුක මේ යයි පෙන්වමින්, ඇසුවන්ගේ සිත් කම්පා කරවමින්, දුටුවන්ගේ ඇස්වලට කඳුළු නංවමින් “ක්ලාන්තයි ආනන්ද, පිපාසයි ආනන්ද, පැන් වළඳනු කැමැත්තෙමි ආනන්ද, සයනය කරනු කැමැත්තෙමි ආනන්ද” යයි පවසමින් විසිපස් තැනක පමණ මඟ නැවතෙමින් මහත් අපහසුවෙන් කුසිනාරා නුවරට වැඩි සේක.

එහිදී ආනන්ද තෙරුන්ට කථා කර “ආනන්ද, යමෙක් චුන්ද කර්මාර පුත්‍රයාට ඔහුගේ දානය වළඳා බුදුපියාණන් පිරිනිවන් පෑ සේක යයි පැවසුවොත් ඔහු කම්පාවට පත්වීමට ඉඩ ඇත. එම නිසා ඔබ ඔහු හමුව බුදුපියාණෝ සුජාතාවගේ දානය වළඳා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ සේක. ඔබ දුන් දානය වළඳා අනුපාදිශේෂ වූ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. මේ දාන දෙකම එක සමානය. සම විපාක ඇත. ඔබ බොහෝ කුසල් රැස්කරන ලද්දේය යයි පවසා ඔහුගේ සැක දුරු කරන්න” යයි වදාළහ.

කුසිනාරා නුවර මල්ල රජුන්ගේ සල් උයනෙහි පිරිනිවන් මංචකයෙහි වැඩ සිටි බුදුපියාණෝ එහි රැස්වූ දෙවි බඹුන්ට ධර්ම දේශනා කර සක්දෙවිඳු අමතා මෙසේ වදාළහ. “සක්දෙවිඳුනි, මගේ ශාසනය සිරිලක ස්ථිරසාරව පිහිටයි. සිංහබාහු නම් රජුගේ පුත් විජය නම් රාජ කුමාරයෙක් ලාට දේශයෙන් සත් සියයක් පිරිස් ගෙන ලක්දිවට පැමිණෙනු ඇත. ඒ රාජ කුමාරයා සහ බුද්ධ ශාසනයද මනාව ආරක්ෂා කරන්න” යනුවෙනි.

 

23. ආමිෂපූජා ප්‍රතික්ෂේප ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “ආනන්ද, ඔබ තථාගතයන්ගේ ශරීර පූජාව පිණිස නොයෙදෙන්න” යයි වදාළහ. එසේනම් පූජනීයයාගේ ධාතුන් වහන්සේට පුද සත්කාර කරන නුවණැත්තෝ මරණින් මතු දෙව්ලොව යන බව වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණෝ “ආනන්ද, ඔබ තථාගතයන්ගේ ශරීර පූජාව පිණිස නොයෙදෙන්න. රහත්බව ලැබීමට උත්සාහ කරන්න. නිවන් පිණිස මෙහෙයවන ලද සිත් ඇතුව වාසය කරන්න. මා කෙරෙහි පැහැදුණාවූ රජවරුන්, බ්‍රාහ්මණයන්, සිටුවරුන් ආදී ගිහියන් විසින් මාගෙ ශරීර ධාතු පූජා කරනු ඇත” යයි කියා ගිහියන් ආමිෂ පූජාවෙහිද භික්ෂුන් ප්‍රතිපත්ති පූජාවෙහිද යෙදවූහ. භික්ෂුන් විසින් කළ යුත්තේ ආමිෂ පූජාව නොව කෙලෙස් යුද්ධයයි. කෙලෙසුන් හා සටන් කිරීමයි. නුවණින් මෙනෙහි කිරීමයි. සතර සතිපට්ඨානයේ යෙදීමයි. අනිත්‍ය දැකීමයි. අනෙකුත් දෙවි මිනිසුන් ආමිෂ පූජා කරනු ඇත. උපමාවකින් කිවහොත් රජ දරුවන් හස්ති ශිල්පය, ධනු ශිල්පය, අශ්ව ශිල්පය, යුද්ධ ශිල්පය ආදිය ඉගෙන ගන්නා අතර අනෙක් අය කෘෂිකර්මය, වෙළෙඳාම, ගව පාලනය ආදියෙහි යෙදෙන්නාක් මෙනි. බුදුපියාණන් මෙසේ වදාළේ භික්ෂුන් වහන්සේලා කළ යුතු දෙයෙහිම යොදවනු පිණිසය. එසේ නොවදාළේ නම් භික්ෂුන් වහන්සේලා පන්දහසක් අවුරුදු මුළුල්ලෙහි බුද්ධ පූජාවෙහිම යෙදෙනු ඇත.

 

24. පපටිකා පතිත ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ වඩින කල අචේතනවූ (සිතක් නැති) පොළොව මිටි තැන් පිරී සමතලා වන බවත්, උස් තැන් නැමී සම භූමි වන බවත් කියවෙයි. එසේනම් ගල් පතුරක් වැදුණේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, ඒ ගල් පතුර ඉබේ වැටුණක් නොවෙයි. දෙව්දත් තෙරුන්ගේ උපක්‍රමයෙන් වැටෙන ලද්දකි. ජාති සිය දහස් ගණනක් මුළුල්ලෙහි බුදුපියාණන් කෙරෙහි වෛර බැඳගෙන පැමිණි දෙව්දත් තෙර බුදුපියාණන්ගේ හිස මත හෙළමියි සිතා මහ ගලක් පෙරළීය. බුදුපියාණන්ගේ කුසල මහිමයෙන් මහ පර්වත දෙකක් මතුවී ඒ ගල දෙඅතින් ඇල්ලුවාක් මෙන් පිළිගත්තේය. එවිට විසිවු ගල්පතුරක් බුදුපියාණන්ගේ ශ්‍රී පාදයෙහි පතිත විය.

 

මිලිඳු රජු -

ස්වාමීනි, පර්වතයෝ දෙදෙන උඩින් එන ගල පිළිගත්තා නම් ගල් පතුරත් එසේ පිළිනොගත්තේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, මේ ලෝකයෙහි සමහර දේවල් අතට ගත් විටද ඉහිරී යයි. මී පැණි, ගිතෙල්, තලතෙල්, දූවිලි ආදිය අතට ගත් විට ඇඟිලි අතරින් වැගිරෙයි. සමහරවිට කටට ගත් බත් පිඩ කටින් වැගිරෙයි. මෙහිදී සිදුවූයේද එවැන්නකි. කොතනක හෝ වැටෙන්නට තිබූ ගල් පතුර බුදුපියාණන්ගේ සිරිපා මත වැටුණි. එසේම දෙව්දතුන්ගේ අකෘතඥ, අසත්පුරුෂකමට දඬුවමක් වශයෙන් ඔහු නරකයෙහි හෙළනු පිණිසද ඒ ගල්පතුර ශ්‍රී පාදයෙහි පතිත විය.

 

25. ශ්‍රමණ විනිශ්චය ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන කෙලෙසුන් දුරු කළ පුද්ගලයා ශ්‍රමණ වන බව වදාළහ. එසේනම් ඉවසීම, භෝජනයෙහි පමණ දන්නා බව, නොඇලීම, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය (සියල්ලෙහි හිස් බව දැකීම) යන ගුණධර්ම ඇති අයද ශ්‍රමණ වන බව වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, මල් අතර දෑසමන් මල් අග්‍රය. සියලු ධාන්‍ය අතර රත් හැල් අග්‍රය. එසේම කෙලෙසුන් නැති කිරීම සඳහා උත්සාහ කරන අයට වඩා කාමවස්තුවලට ඇති කැමැත්ත, නැවත ඉපදීමට ඇති කැමැත්ත, වැරදි දැකීම්, අවිද්‍යාව යන කෙලෙස් නැති කළ අය අග්‍රය. ඉවසීම, භෝජනයෙහි පමණ දන්නා බව ආදි ගුණ ඇත්තේ කෙලෙසුන් නැති කිරීමට උත්සාහ කරන අය තුළය.

 

26. උබ්බිල්ලාවීත ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “මහණෙනි, අනෙක් අය මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියන විට ඔබලා ඒ ගැන සතුටු නොවන්න, උඩඟු නොවන්න” යයි වදාළහ. එසේනම් සේල බ්‍රාහ්මණයා විසින් බුදුගුණ කියන කල සතුටු වූයේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, සේල බ්‍රාහ්මණයා තමාට පෙනුණ බුදුගුණ කියන කල බුදුපියාණෝ එයින් සතුටුව         “සේලයෙනි, මම සද්ධර්ම චක්‍රවර්ති රජ වෙමි. සමස්ත ලෝකයෙහි කිසිවෙකුටත් පැවැත්විය නොහැකි ආඥා චක්‍රය මම ධර්මයෙන් පවත්වන්නෙමි” යනුවෙන් තමන් වහන්සේගේ ඉතිරි වූ ගුණ රාශියල්ද වදාළහ. මෙසේ කළේ ලාභය පිණිස නොවෙයි. කීර්තිය පිණිස නොවෙයි. මෙසේ දේශනා කරන විට සේල බ්‍රාහ්මණයා ඇතුළු පිරිස ධර්මය අවබෝධ කරන බව දැනගෙන ඔවුන් කෙරෙහි අනුකම්පාවෙනි. ඔවුන්ගේ හිතවැඩ පිණිසය. යහපත පිණිසය.

 

27. අහිංසා නිග්‍රහ ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “අනුන්ට හිංසා නොකරන පුද්ගලයා ලෝකයාට ප්‍රිය වන්නේය” යයි වදාළහ. එසේනම් නිග්‍රහ කළ යුත්තාට නිග්‍රහ කළ යුතු යයි වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, අනුන්ට හිංසා නොකිරීම බුදුවරුන්ගේ සිරිතකි. බුදුවරුන්ගේ අනුශාසනාවකි. ධර්මය අවිහිංසාව ලක්ෂණ කර ඇත. එසේම බුදුපියාණෝ “නොසන්සුන් සිතට නිග්‍රහ කළ යුතුය. සන්සුන් සිතට ප්‍රශංසා කළ යුතුය. අකුසල්වලට නිග්‍රහ කළ යුතුය. කුසල්වලට ප්‍රශංසා කළ යුතුය. අනුවණින් මෙනෙහි කිරීමට නිග්‍රහ කළ යුතුය. නුවණින් මෙනෙහි කිරීම ප්‍රශංසා කළ යුතුය. සොරාට නිග්‍රහ කළ යුතුය. සොරකම් නොකරන්නාට සංග්‍රහ කළ යුතුය” යයි වදාළහ.

මහරජ, සොරුන්ට දොස් කිව යුතු නම් දොස් කිව යුතුය. දඬුවම් කළ යුතු නම් දඬුවම් කළ යුතුය. රටින් නෙරපිය යුතු නම් නෙරපිය යුතුය. නැසිය යුතු නම් නැසිය යුතුය. ඔවුන් නසින්නේ තමා කරගත් අපරාධයෙනි. එයට අන් කිසිවෙක් වගකිව යුතු නොවෙයි. නිවැරදි පුද්ගලයා මෙසේ දෝෂ දර්ශනයකට, දඬුවමකට හෝ ජීවිතය නැති වීමකට ලක් නොවෙයි. ඒ ඔහු වරදක් නොකරන බැවිනි. එසේම බුදුවරුන්ගේ අනුශාසනය සියලු සත්වයන්ටම සාධාරණ වූවකි.

 

28. සංඝ පනාමිත ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “මම ක්‍රෝධය නැති කළ කෙනෙක්මි” යයි වදාළහ. එසේනම් අගසවු දෙනම සමඟ පැමිණි භික්ෂුන් වහන්සේලා එළවා දැමුවේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, දිනක් ධනිය නම් සිටුපුත්‍රයා දවසේ කටයුතු නිම කර පහන් දල්වා මිහිරි කිරෙන් බත් අනුභව කර සැප පහසු අසුනක හිඳ සිටින කල මහ වැස්සක් ඇද හැලුණි. මෙහිදී තමාගේ සම්පත් සිහිකර සතුටට පත් සිටුපුත්‍රයා “මම දොවා ගන්නා ලද කිරි ඇත්තෙමි. උපයා ගන්නා ලද සම්පත් ඇත්තෙමි. වැස්ස කැමති නම් වහින්න” යනුවෙන් ප්‍රීති වාක්‍ය පැවසීය.

බුදුපියාණෝ මෙය දිවැසින් අසා ඔහු දහම් අවබෝධ කිරීමට තරම් පින් ඇත්තෙක් බව දැන ඔහු වසන තැනට අහසින් වැඩ “ධනිය, ක්‍රෝධය ඇති අය තැවෙති. සමහරු දත් මිටි කති. සමහරු පරුෂ වචන කියති. සමහරු ආයුධවලින්, දඬු මුගුරුවලින් පහර දෙති. සමහරු අනුන්ගේ දිවි නසති. සමහරු තමන්ගේත් දිවි නසා ගනිති. මම එබඳු ක්‍රෝධය බුදුවු දිනම නැසුවෙමි. අක්‍රෝධ වීමි. ඔබ දොවා ගන්නා ලද කිරි ඇතැයි සතුටු වෙයි. ඔබ දුකෙහි ගැලී සිටිමින්ම සතුටට පත් වෙයි. මම බියකරු දුක් විපාක ගෙන දෙන ක්‍රෝධය නැසීම ගැන සතුටු වෙමි. දුක් විපාක ගෙන දෙන කෙලෙස් නැති කිරීම ගැන සතුටු වෙමි” යයි වදාළහ.

බුදුපියාණන් චාතුමා නම් නුවර ආමලකාරාමයේ වැඩ සිටියදී පන්සියයක් පමණ භික්ෂුහු සැරියුත් - මුගලන් අගසව් දෙනම සමඟ බුදුපියාණන් දකින්නට පැමිණියහ. එම භික්ෂුන් වහන්සේලා ආසන පිළියෙල කර ගැනීම ආදිය කළේ නේවාසික භික්ෂුන් වහන්සේලා සමඟ කථා බස් කිරමිනි. පිරිස විශාල නිසා ඝෝෂාව වැඩි විය. බුදුපියාණෝ ඒ අසා “ආනන්ද, මසුන් අල්ලන පිරිසක් සේ මහා ශබ්ද කරන්නේ කව්ද” යයි විමසූ සේක. පසුව එම භික්ෂු පිරිසට වහාම ආරාමයෙන් පිටව යන ලෙසට නියම කළ සේක. ආපසු වඩින භික්ෂුන් දුටු චාතුමා නුවර වැසි ශාක්‍යයෝ “ඔබවහන්සේලා මේ දැන් අවුත් මේ දැන් කොහේ යන්නේද ?” යයි විමසා සිදුවු දේ දැනගෙන භික්ෂුන් මඟ නතර කර බුදුපියාණන් කරා ගොස් මෙසේ පැවසූහ. “ස්වාමීනි, පැන් නොලබන ලපටි පැළ විනාශයට පත් වෙයි. මව නොදකින කුඩා වසු පැටවාට හානියක් වීමට ඉඩ ඇත. එසේම මේ භික්ෂු පිරිස අතර අලුත පැවිදි වූ අයද සිටිති. ඔබවහන්සේ නොදකින ඔවුන්ට අනර්ථයක්, විනාශයක් සිදුවීමට ඉඩ ඇත. ඔවුන්ට සමාවුව මැනවි” යනුවෙනි.බුදුපියාණන් එය ඉවසා සිටි කල භික්ෂුහු නැවත බුදුපියාණන් දැකීමට පැමිණියහ.

මහරජ, තථාගතයන් වහන්සේගේ ක්‍රෝධයක් නැත. මෙසේ කළ විට භික්ෂුහු ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක්ඛයෙන් මිදෙන බව දැන ඔවුන්ට වැඩ පිණිස, හිත පිණිස බුදුපියාණෝ සංඝයා නෙරපා හැරි සේක. ගලක මුලක හැපී යමෙකු වැටීම සිදුවනුයේ පොළොව කිපී එසේ කරන නිසා නොව ඒ පුද්ගලයාගේම නොසැලකිල්ල නිසාය. එසේම භික්ෂුන් වහන්සේලාද තමන් කරගත් වරදින්ම මෙසේ දෝෂ දර්ශනයට ලක්වූහ.

 

29. මෞද්ගල්‍යාන ඍද්ධිවිභාග ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, ඍද්ධිමතුන් අතර අග්‍රවු මුගලන් තෙරණුවෝ සොරුන්ගෙන් පහර ලැබ පිරිනිවන් පෑ සේක. ඍද්ධි බලයෙන් සොරුන්ගෙන් ගැලවීගත නොහැකි වූයේ මන්ද?

නාගසේන තෙරණුවෝ -

මහරජ, මුගලන් මහ තෙරුන් වහන්සේගේ අතීත අකුසල කර්මයක් නිසා එසේ පහර ලැබීමට සිදු විය. අගසව් තනතුර සඳහා පෙරුම් පුරණ එක් ජාතියක දී කාමයෙන් අන්ධව තම බිරිඳගේ බස් අසා “නෑයන් දකින්නට යමු” යයි කියා අන්ධ දෙමව්පියන් කැළයක් මැදට රවටා ගෙන ඇවිත් සොරුන් පහර දෙන බවක් අඟවා මුගුරුවලින් පහර දුන්නේය. එසේ මුගුරුවලින් තලන කල, පුත සොරු අප මරති. ඔබ ගේ දිවි රැක ගන්න” යයි කිය කියා මහා හඬ නඟද්දිත් කිසිත් අනුකම්පාවක් නැතිව දෙමව්පියන් මරා දමා, මහ වනයට දමා ගොස් බිරිඳ සමඟ සිත් සේ වාසය කළේය. ඉන් පසු මිය ගොස් නරකයෙහි වැටී දිගු කලක් දුක් විඳ, පෙර කළ මහා පින් ඇති හෙයින් අප බුදුපියාණන් කල ඉපිද අගසව් තනතුරට පත්විය.

එකල දඹදිව විසූ අන්‍යාගමිකයෝ මුගලන් තෙරණුවන්ට දැඩි ලෙස වෛර කළහ. මුගලන් තෙරණුවෝ දෙව්ලොවට ගොස් දෙවියන් පෙර කළ කුසල කර්ම දැනගෙන අවුත් මිනිසුන්ට දැන්වූහ. අපායට ගොස් එහි උපන් අය කළ අකුසල කර්ම දැනගෙන අවුත් මිනිසුන්ට දැන් වූහ. එම තොරතුරු ඇසූ අය බුදුපියාණන් ඇතුළු භික්ෂුන්ට මහත් ලෙස සත්කාර කළහ. එම නිසා අන්‍යාගමිකයෝ මුගලන් තෙරුන් මැරවීමට තීරණය කර දරුණු සොරුන් කිහිප දෙනෙකුට අල්ලස් දුන්හ. සොරු මුගලන් තෙරුන් සිටි ආරාමයට ගොස් එය වැටලූහ. දෙවරක්ම මුගලන් තෙරණුවෝ තම ඍද්ධි බලය නිසා සොරුන්ගෙන් බේරි පලා ගිය අතර, තෙවන දින උන්වහන්සේ තමන් පෙර අත්බවයක කළ කර්මයක් පලදීමට එන බව දැන ඉවත්ව නොගොස් රැදී සිටියහ. සොරු උන්වහන්සේ අල්ලා ගෙන තලා, ඇටකටු පොඩි කර පසෙකට දමා පැන ගියහ.

මහරජ, කර්මය අධිපතිවූ විට සෙසු කුසල ක්‍රියාවන්ට ඉඩක් නොලැබෙයි. ලැව් ගින්නක් ඇතිවූ විට කළ දහසකින් ජලය ගෙනවිත් වුවත් එම ගින්න නිවිය නොහැකි වන්නාක් මෙනි. ලැව් ගින්න බලවත්‍ ය. යමෙක් අපරාධයක් කළ විට ඔහුගේ මවට, පියාට, නැඟනියකට හෝ යහළුවෙකුට ඔහුව ආරක්ෂා කර ගත නොහැකිය. රජුගේ ආඥාවම බලවත්‍ ය. එසේම කර්මය අධිපතිවූ මුගලන් තෙරුන්ට ඍද්ධි බලයෙන් තමන් ගලවා ගත නොහැකි විය.

 

30. විනය ප්‍රතිච්ජන්න ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, ධර්මය විවෘත වූ කලම බබළන්නේය යයි බුදුපියාණෝ වදාළහ. එසේනම් ප්‍රාතිමෝක්ෂය (අධි සිල් හෙවත් භික්ෂු සීලය) භික්ෂුන්ට පමණක් වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණෝ ධර්මය විවෘත වූ කලම බබළන බව වදාළ බව සත්‍යය. එසේම ධර්ම විනය සීමා කර වදාළ බවද සත්‍යය. එසේ කළේ කරුණු තුනක් නිසාය. පළමුවැනි කරුණ නම් භික්ෂුන්ට පමණක් ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, එය දෙවි මිනිසුන්ට දේශනා නොකිරීම සියලු බුදුවරයන්ගේ සිරිතකි. ධර්මතාවයකි. උපමාවකින් කිවහොත් ක්ෂත්‍රිය මායම් ක්ෂත්‍රියයන් අතර පමණක්ම පවතින්නා සේය. අන් අයට නොදෙන්නා සේය. දෙවන කරුණ නම් විනය ඉතාම මහත්‍ ය. ගැඹුරුය. එය භාවිතා කිරීමෙන් භික්ෂුහු අර්හත් ඵලය ලබති. වටිනා සඳුන් කැබැල්ලක් එහි වටිනාකම නොදත් කෙනෙකු අතට පත්වූ විට එය නොවටිනා දෙයක් බවට පත්වෙයි. එලෙසම උතුම් ධර්මය දුර්ජනයන් අතට පත්වී අවඥාවට ලක්වීම වළක්වනු පිණිස ප්‍රාතිමෝක්ෂය සීමාකර දේශනා කළ සේක. තුන්වන කරුණ නම් භික්ෂු භාවයෙහි ඇති මහත් බවයි. යම්කිසි රටක වටිනා හෝ උතුම් දෙයක් ඇත්නම් ඒවා රජුටම අයිති වෙයි. එලෙසම උතුම්වූ ප්‍රාතිමෝක්ෂය භික්ෂුන්ම සතුවෙයි.

 

31. මුසාවාද පාරාජිකා ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ බොරු කීමෙන් පාරාජිකා වන්නේය යයි වදාළහ. එසේනම් දැන දැන මුසාවාද කීමෙන් සුළු වරදක් වන්නේය යයි නැවත වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, වග්ගුමුදා නම් ගංතෙර වස් විසූ භික්ෂු පිරිසක් ආහාරපාන හොඳින් නොලැබුණු නිසා තමන් තුළ නැති ගුණ පවසා දායකයන් පහදවා ගෙන සිවුපසය ලබා ගත් හ. මේ බව දැන ගත් බුදුපියාණෝ “හිස් පුරුෂයෙනි, උදරය පිණිස තමන් තුළ නැති උත්තරීතර ගුණ ප්‍රකාශ කිරීම බලවත් වරදකි. එසේ දායකයන් මුළා කර දානය වැළදීමට වඩා ගෙරි කපන කැත්තකින් බඩ කපා ගැනීම වඩා යහපත්ය.ගිනිගෙන දිලිසෙන ලෝහ ගුළි ගිලීම වඩා යහපත්ය. මා දෙසූ ධර්මයට විරුද්ධව හැසිරී නරකයෙහි උපදින මහ සොරු පස් දෙනෙකි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ලෝභ කර පිරිවර පිරිවරා ගෙන ගම් නියම්ගම්වල හැසිරෙන්නා පළමුවන මහ සොරාය. ධර්ම විනය ඉගෙන අන් අයටත් නොදී තමනුත් එහි නොහැසිරෙන්නා දෙවන මහ සොරාය. පිරිසිදු බ්‍රහ්මචර්‍යාවෙහි හැසිරෙන භික්ෂුවකට ස්ත්‍රියක් සම්බන්ධ කර දොස් කියන්නා තුන්වන මහ සොරාය. යමෙක් සාංඝික දේවල් (ගෘහ භාණ්ඩ ආදිය) ගිහියන්ට දී ඔවුන්ගේ සිත් ගන්නේ නම් ඔහු සතරවන මහ සොරාය. තමා තුළ නැති උත්තරීතර ධර්මයන් තමා කෙරෙහි ඇති බව පවසන්නා මාගේ ශාසනයෙහි සිටින සොරුන්ගෙත් සොරාය. ඔබලා විසින් ගිහියන් රහතුන් උදෙසා දුන් පිණ්ඩපාතය සොරකමින් වළඳන ලදි. ඔබලා ලෝකෝත්තර ගුණධර්ම තමා කෙරෙහි නැතිබව දැන දැන බොරු කීමෙන් කෙලෙස් සතුරන් විසින් පරදවන ලද බැවින් පරදවන ලද බැවින් පාරාජිකා වන්නේය” යයි වදාළහ.

එසේම නොකළ දෙයක්, නොකී දෙයක් කරන ලද්දේය, කියන ලද්දේය යයි කීමෙන් සුළු වරදක් සිදු වෙයි. භික්ෂුවක් ඉදිරියෙහි වාඩිවී වැඳගෙන තමාගෙන් සිදුවූ වරද පැවසීමෙන් තම සිල් පිරිසිදු කර ගත හැකිය.

මහරජ, යම් පුද්ගලයෙක් තවත් කෙනෙකුට අතින් පහරක් දී සමාව නොගතහොත් ඔබ ඔහුට කහවණුවක් දඩ ගසයි. ඒ පුද්ගලයාම එම අතින්ම ඔබට පහරක් දුන්නොත් ඔබ ඔහුට දරුණු දඬුවම් පමුණුවයි. එසේ වන්නේ මිනිසුන්ගේ ඇති උස් පහත් භේදය නිසාය. එසේම මුසාවාදයද සිදුවන වරද අනුව උස් පහත් වෙයි.

 

32. කාල විලෝකන ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බෝසත්වරුන්ගේ මව පියා ආදීන් නියත නම් පස් මහ බැලුම් බලන්නේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බෝසත්වරයන්ගේ මව, පියා, බෝධිය, අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා සහ උපස්ථායක නියතය. එහෙත් තුසිත දෙව්ලොව සිටින බෝධිසත්වයන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය, මව යන පස් මහ බැලුම් බලන සේක. එයට හේතුව බෝසත්වරයන් විසින් පළමුව රාජ වංශය හෝ බ්‍රාහ්මණ වංශය උතුම්ද කියා උපදනා වංශය බැලිය යුතු වීමයි.

මහරජ, මේ ලෝකයෙහි අට දෙනෙකුන් විසින් අනාගතය බැලිය යුතුය. වෙළෙන්දා පළමුව තමා විකුණන බඩු දෙස බැලිය යුතුය. හස්තිරාජයා පළමුව තමා යන මාර්ගය හොඬින් දැනගත යුතුය. ගැල්කරුවා පළමුව තමා යන මාර්ගය ගැන දැනගත යුතුය. නාවිකයා පළමුව තමා යන මාර්ගය දැනගෙන වරායෙන් පිටවිය යුතුය. වෛද්‍යවරයා පළමුව රෝගියාගේ ආයුෂ පරික්ෂා කර රෝගියා කරා එළඹිය යුතුය. ඔරුපාරු ආදියෙන් එතෙර වන්නා පළමුව ඒවායේ ශක්තිය ඇති නැති බව දැනගෙන ඒවාට නැඟිය යුතුය. භික්ෂුන් වහන්සේලා පළමුව හිරු මුදුන්වීමට ඇති කාලය සලකා බලා භෝජනය වැළඳිය යුතුය. බෝධිසත්වයන් වහන්සේලා පළමුව රාජ වංශය හෝ බ්‍රාහ්මණ වංශය උතුම්ද කියා උපදනා වංශය බැලිය යුතුය. මේ අනුව අනාගතය බැලීම බෝධිසත්වවරයන්ගේ ධර්මතාවයකි.

 

33. මරණ සමුච්ජේද ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ සියදිවි නසා ගැනීම අනුමත නොකරන සේක. එසේනම් ජාති ජරා ව්‍යාධි මරණයන්ගේ නැසීම පිණිස ධර්ම දේශනා කළේ ඇයි?


නාගසේන තෙරණුවෝ -

මහරජ, සිල්වත් භික්ෂුව සියලු සත්වයන්ගේ කෙලෙස් රෝග විනාශ කරන දිව ඔසුවක් වැනිය. කෙලෙස් දූවිලි පහ කරන ජල පහරක් වැනිය. සසරින් එතෙර කරන නැවක් වැනිය. කාන්තාරයෙන් එගොඩ කරන ගැල් පදවන්නෙකු වැනිය. රාග, ද්වේෂ, මෝහ ගිනි නිවන සුළඟක් වැනිය. කුසල ධර්මයන් උගන්වන ගුරුවරයෙකු වැනිය. මෙබඳු බොහෝ ගුණ ඇති භික්ෂුන්ගේ ජීවත්වීමේ ඇති ප්‍රයෝජනය නිසාම සියලු සත්වයන් වෙත අනුකම්පාවෙන් සිය දිවි නසා ගැනීම අනුමත නොකළ සේක. දිනක් කාශ්‍යප තෙරණුවෝ පායාසී බ්‍රාහ්මණයාට මෙසේ පැවසූහ. “සිල්වත් භික්ෂුන් බෝහෝ කාලයක් ජීවත් වෙයි නම් ඒ කාලය මුළුල්ලෙහිම ඔවුහු දෙවි මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස අනුකම්පාවෙන් කටයුතු කරති” යනුවෙනි.

මහරජ, මිනිස් තිරිසන් ආදී වශයෙන් ඉපදීම දුකකි. ඇඟ රැළි වැටීම, හිසකෙස් පැසීම ආදී වශයෙන් දිරීමද දුකකි. කුෂ්ඨ රෝග, අතීසාර ආදි රෝගද දුකකි. නැතිවූ දෙයට ශෝක කිරීමත් දුකකි. විලාප කියා හැඬීමත් දුකකි. නොලැබෙන දෙයට දුක්වීමත් දුකකි. අප්‍රියයන් හා එක්වීමත් දුකකි. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකකි. මවගේ මරණය දුකකි. පියාගේ මරණය දුකකි. බිරිඳගේ මරණය දුකකි. පුත්‍රයාගේ මරණය දුකකි. දඬුවම් ලැබීමද දුකකි. සොර සතුරන්ගෙන් වන බියද දුකකි. ජලයෙන් වන බියද දුකකි. ගින්නෙන් වන බියද දුකකි. අත් පා කැපීමත් දුකකි. බුදුපියාණන් භික්ෂූන් ජාති, ජරා, මරණයන්හී විනාශය පිණිස ධර්ම දේශනා කළේ මේ සියලු දුක් ඇතිවන්නේ ඉපදීම නිසා වන බැවිනි. ඉපදීම නැති කිරීම යනු මරණය ජය ගැනීමයි. සියලු දුක් නැති කිරීමයි. බියකරු සසරින් එතෙර වීමයි.

 

34. මෙත්තානිශංස ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ මෛත්‍රී භාවනාව වඩන අයට ආයුධවලින් හානියක් නොවන බව වදාළහ. එසේනම් මෛත්‍රියෙන් කල් යැවූ සාම කුමාරයා හී පහරක් වැදී සිහිසුන්ව වැටුණේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණන් විසින් “සුවසේ නිදයි. සුවසේ පිබිදෙයි. නපුරු සිහින නොදකියි. මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. දෙවියෝ රකිති. ගින්නෙන්, වස විසෙන් හෝ ආයුධ වලින් හානියක් නොවෙයි. වහා සිත එකඟ වෙයි. සිහි මුළා නොවී කලුරිය කරයි. මුහුණ පැහැපත් වෙයි. මඟපල නොලදහොත් මරණින් පසු බ්‍රහ්ම ලෝකයෙහි උපදියි” යනුවෙන් මෛත්‍රී භාවනාවේ ආනිශංස එකොළහක් වදාළ බව සත්‍යය. එසේම වනයෙහි සැරිසැරූ සාම කුමාරයා පිළියක්ඛ නම් රජු විසින් විදින ලද විෂ පෙවූ හීයක් වැදි සිහිසුන්ව වැටුණු බවද සත්‍යය. මහරජ, මෙම සියලුම ආනිශංස මෛත්‍රී භාවනාවේ ආනිශංසය. මෛත්‍රියෙන් සිටින තෙක් ඔහුට හානියක් කිරීමට කිසිවෙකුට ඉඩ නොලැබෙයි. නමුත් හී පහර වැදුණේ භාවනාවේ යෙදී සිටින මොහොතක නොව පැන් ගෙන යාමට පැමිණි මොහොතේදීය. යමෙක් හී සැර නොවදින විදියේ යුද ඇඳුමක් ඇඳගෙන යුධ පිටියට ගියහොත් හී පහරවල් ඔහුගේ ශරීරයෙහි නොවදියි. ඒවා විසිරී යයි. එය ඔහුගේ බලයක් නිසා සිදුවන්නක් නොව ඇඳ සිටින යුද ඇඳුමේ ස්වාභාවය නිසා සිදුවන්නකි.

 

35. කුශලාකුශලකාරී විශේෂ ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, කුසලය සැප විපාක දෙන බවත්, ස්වර්ගයෙහි උපදවන බවත් අකුසලය දුක් විපාක දෙන බවත්, නිරයට පමුණුවන බවත් කියවෙයි. එසේනම් ඉතාම පාපී පුද්ගලයෙකු වූ දෙව්දතුන් බොහෝ ආත්මවලදී බෝසතුන් හා සමානවද සමහරවිට බෝසතුන්ටත් වඩා යස සම්පත් ඇතුවද ඉපදුනේ කෙසේද ?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, කුසල් අකුසල් සම විපාක නොවෙයි. දෙව්දත් තෙර බෝසතුන් කෙරෙහි වෛර ඇත්තෙකි. එම නිසා බොහෝ ආත්මවලදී උන්වහන්සේට විරුද්ධකම් කළේය. පියා වශයෙන් ඉපිද සතුරුකම් කළ අවස්ථාද ඇත. එහෙත් සෑම ආත්මයකදීම මෙසේ සිදු නිවීය. කලාතුරකින් එසේ සිදු විය. මහා කපි ජාතකයේදී දෙව්දතුන් මිනිසෙකි. බෝසතුන් වඳුරෙකි. ජද්දන්ත ජාතකයේදී දෙව්දතුන් සෝණුත්තර නම් වැද්දෙකු වන විට බෝසතුන් ජද්දන්ත නම් ඇත් රජ විය. දෙව්දතුන් කලාබු රජ වන විට බෝසතුන් ක්ෂාන්තිවාදී තාපසයා විය. කලාබු රජු තමාගේ සේවිකාවන් තාපසයාගෙන් බණ අසනු දැක කෝපයට පත්ව ඔහු මරා දැමීය. දෙව්දතුන් බ්‍රහ්මදත්ත නම් රජු වන විට බෝසතුන් මහා පදුම නම් පුත් කුමරා විය. ඔහු සිය බිසවකගේ කීම අසා මහා පදුම කුමරු පර්වතයකින් බිමට හෙළීය. එහෙත් කුමරුගේ ජීවිතය බේරුනි. චුල්ල ධර්මපාල ජාතකයේදී මහා ප්‍රතාප රජු තම දේවිය තමාට වඩා දරුවාට සැලකිලි දක්වන බව පවසා ධර්මපාල කුමරු මරා දැමීය. සංසාර සාගරයට වැටුණ සියලුම සත්වයෝ තමන්ට ප්‍රියවුවන් සමඟද අප්‍රියවූවන් සමඟද එකතු වෙති. ගලා යන ජලයට පිරිසිදු දේවල් මෙන්ම අපිරිසිදු දේවල්ද එකතුවන්නාක් මෙනි. මහරජ, පාපී පුද්ගලයෙක් වුවද රජකම ලැබුණු විට ජනතාවට සේවය කරයි. ජනතාව ආරක්ෂා කරයි. ළිං, පොකුණු, අම්බලම්, නිවාස තනා දෙයි. ශ්‍රමණයන්ට හා දුගී මගීන්ට දන් දෙයි. එම දානවල විපාකයෙන් දෙව්දතුන්ට වුවද උපනූපන් ආත්මවල සැප සම්පත් ලැබුණි. කෙසේවුවද ඔවුන් සමානව ඉපදුනේ ආත්ම කිහිපයකදී පමණි. දාන, ශීල, භාවනා යන සියලු පුණ්‍ය ක්‍රියාවල යෙදුණු බෝසතාණෝ දෙව්දතුන්ට වඩා සැප සම්පත් අනුභව කළහ. පාපී පුද්ගලයෙක්වූ දෙව්දත් බොහෝ කාලයක් නරකයෙහි දුක් වින්දේය. බෝසතාණෝ තමා කළ කුසල් බලයෙන් දෙව්සැප වින්දහ. මේ ආත්මයේදීද දෙව්දතුන් බුදුපියාණන්ට හිරිහැර කර අපාගත විය. බෝසතාණෝ දතු යුතු සියල්ල දැන ලොවුතුරා බුදුව පිරිනිවන් පා වදාළ සේක.

 

36. අමරාදේවී ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “ස්ත්‍රිහු අවස්ථාවක් ලද හොත් පාපයෙහි යෙදෙති” යයි වදාළහ. එසේනම් අමරා දේවිය තමා වෙත මසුරන් දහසක් රැගෙන පැමිණි රූමත් පුරුෂයා හා පාපයෙහි නොයෙදුණේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බරණැස කණ්ඩරී නම් රජුගේ කින්නරා නම් අගබිසව අන්‍ය සුදුසු පුරුෂයෙකු නොලැබ විරූපි මුහුණක් ඇති අත පය කොට කොරෙකු හා සමඟ පරපුරුෂ සේවනයෙහි යෙදුණ බව කුණාල ජාතකයේදී වදාළ බවද සත්‍යය. එසේම උම්මග්ග ජාතකයේදී මහෞෂධ පණ්ඩිතයන් විසින් තම භාර්‍යාව පරීක්ෂා කිරීමට සිතා මසුරන් දහසක් දී එවූ රූමත් පුරුෂයා සමඟ අමරා දේවිය පාපයෙහි නොයෙදුණ බවද සත්‍යය. මහෞෂධ පණ්ඩිතයෝ රූමත් පුරුෂයෙකු කැඳවා “අසුවල් ගෙයි ගැහැණියක රඳවා පැමිණියෙමි. මේ මසු දහස රැගෙන ගොස් ඇය විමසන්න” යයි පැවසූහ. ඔහුද බෝධිසත්වයන් පැවසූ ලෙස ගොස් අමරා දේවියට මසු දහස දී ඇය රවටා ගැනීමට උත්සාහ කළේය. එවිට ඇය “මේ මසු දහස මගේ සැමියාගේ පයේ පෑගුණු පාපිස්සක් තරම්වත් නොවටින්නේය” යයි පැවසුවාය. මෙහිදී අමරා දේවිය පාප ක්‍රියාවක නොයෙදුණේ ඇයට ඒ සඳහා ඉඩක් නොලැබුණු නිසාය. සමහරු අනුන් නින්දා කරතියි සිතා පව් නොකරති. අපාය බය නිසා පව් නොකරති. තමාගේ ස්වාමි පුරුෂයාට ඇති කැමැත්ත නිසා පව් නොකරති. ස්වාමි පුරුෂයාට ඇති ගෞරවය නිසා පව් නොකරති. දහමට ඇති ගෞරවය නිසා පව් නොකරති. පරපුරුෂ සේවනය පහත් දෙයක් යැයි සිතා පව් නොකරති. පතිව්‍රතා ධර්මය රකිනු පිණිස පව් නොකරති. මෙබඳු බොහෝ කරුණු නිසා සමහරු පව් කිරීමට ඉඩක් නොලබති. යම් හෙයකින් ඇය පව් කළේ නම් එය මනුෂ්‍යයන්ට රහසක් වුවත් අමනුෂ්‍යයන්ට රහසක් නොවෙයි. අමනුෂ්‍යයන්ට රහසක් වුවත් එය අනුන්ගේ සිත් දන්නා පැවිදි අයට රහසක් නොවෙයි. පැවිදි අයට රහසක් වුවත් පර සිත් දන්නා දෙවියන්ට රහසක් නොවෙයි. දෙවියන්ට රහසක් වුවත් තමාගේ සිතට රහසක් නොවෙයි. එසේම මහෞෂධ පණ්ඩිතයෝ පාපයෙහි භය ඇත්තෙකි. බොහෝ මිත්‍රයන් ඇත්තෙකි. සිල් ඇත්තෙකි. සත්‍යවාදියෙකි. ක්‍රෝධ නැත්තෙකි. නිහතමානී වූවෙකි. ඊර්ෂ්‍යාව නැත්තෙකි. වීර්‍ය ඇත්තෙකි. ප්‍රිය වචන ඇත්තෙකි. ප්‍රඥාවෙන් යුක්තය. සියල්ලන්ට හිතවත් ය. අමරා දේවිය නුවණින් විමසා බලමින් එබඳු ගුණ ඇති අනෙක් පුරුෂයෙකු නැති නිසා පරපුරුෂ සේවනයෙහි නොයෙදුණාය

 

37. අර්හත් නිර්භය ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “රහතන් වහන්සේලා මරණයට බිය නොවෙති” යයි වදාළහ. එසේනම් රජගහ නුවරදී බුදුපියාණන් කරා එන නාලාගිරි ඇතා දැක පන්සියයක් පමණ රහතන් වහන්සේලා නොයෙක් දිසාවන්ට විසිරී ගියේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, රහතන් වහන්සේලා එසේ විසිරී ගියේ මරණ භයින් නොවෙයි. උන්වහන්සේලාට බියක් තැති ගැනීමක් හෝ බියවීමට, තැති ගැනීමට හේතුවක් හෝ නොමැත. දහසක් දෙනා ආයුධ අතැතිව පැමිණ එකම රහතන් වහන්සේ නමක් වටකරගෙන ' මරමු ' යයි කීවත් උන්වහන්සේට බියක් ඇති නොවෙයි. සිතේ වෙනස්වීමක් ඇති නොවෙයි. මහ පොළොව හාරන විට, බිඳින විට මහ පොළොව බිය නොවන්නාක් මෙනි. පර්වතයක් බිඳින කල, ගින්නෙන් දවන කල පර්වතය බිය නොවන්නාක් මෙනි. බිය ඇති වන්නේ තණ්හාව ඇති විටය. තණ්හාව නැති කළ රහතන් වහන්සේලාට බියක් නොමැත. කෙසේ වුවද එදින ආනන්ද තෙරුන් පමණක් බුදුපියාණන් ළඟ තනිකර දමා අනෙකුත් රහතන් වහන්සේලා නොයෙක් දිසාවන්ට විසිරී යාමටද හේතුවක් තිබුණි. නාලාගිරි ඇතා බුදුපියාණන් හමුවට දිව එන්නේ නම් නිසැකයෙන්ම ආනන්ද තෙරුන් ජීවිතය පරදුවට තබා ඉදිරියට යනු ඇත. සියලුම රහතන් වහන්සේලා එතැන සිටියොත් ආනන්ද තෙරුන්ගේ ගුණය ප්‍රකාශ නොවෙයි. ආනන්ද තෙරුන්ගේ ගුණය ප්‍රසිද්ධ කරනු පිණිසත් එය දකින ජනතාව තුළ ශ්‍රද්ධාව ඇතිවනු පිණිසත් රහතන් වහන්සේලා එතැනින් ඉවත්ව ගියහ.

 

38. සර්වඥානුමාන ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ සියල්ල දනිති යයි කියවෙයි. එසේනම් චාතුමා නගරයේදී අගසව් දෙනම සමඟ පැමිණි භික්ෂුන් නෙරපා හැරී විට ශාක්‍ය රජදරුවන් සහ සහම්පතී නම් මහා බ්‍රහ්මයා පැමිණ බීජ උපමාව සහ වසු පැටවාගේ උපමාව දක්වා බුදුපියාණන්ට කරුණු පැහැදිලි කළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණන් සියල්ල දන්නා බව සත්‍යය. චාතුමා නගරයේදී ශාක්‍ය රජ දරුවන් සහ සහම්පතී නම් මහා බ්‍රහ්මයා පැමිණ බීජ උපමාව සහ වසු පැටවාගේ උපමාව දක්වා කතා කර බුදුපියාණන්ගේ සිත ප්‍රසන්න කළ බවද සත්‍යය. ඔවුහු බුදුපියාණන්ගේ උපමාවලින්ම බුදුපියාණන්ගේ සිත ප්‍රසන්න කළ බවද සත්‍යය. ඔවුහු බුදුපියාණන්ගේ උපමාවලින්ම බුදුපියාණන්ගේ සිත් ගත් හ. බුදුපියාණෝද සතුටුව එම ඉල්ලීම ඉවසා වදාළ සේක. උපමාවකින් කිවහොත් ස්ත්‍රිය ස්වාමිපුරුෂයා සතු දෙයින්ම ඔහුට සංග්‍රහ කර සිත් ගන්නාක් මෙනි. යම් අතවැසි හිමි නමක් ගුරු හිමියන් විසින් ගෙනෙන ලද පිණ්ඩපාතයම ගරු සරු ඇතුව යළිත් පිළිගැන්වීමෙන් ගුරු හිමියන්ගේ සිත් ගන්නාක් මෙනි. කපුවා රජු සතු රන් පනාවෙන්ම හිස පීරමින් රජුගේ සිත් ගන්නාක් මෙනි.

 

39. සේනාසන ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “රම්‍යවූ විහාර කරවීමෙන් සැප ලැබෙයි” යයි වදාළහ. එසේනම් “ගෘහයෙන් කෙලෙස් උපදියි” යනුවෙන් වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, විහාර දානය සියලු බුදුවරයන් විසින් ප්‍රශංසා කරන ලද්දකි. අනුමත කරන ලද්දකි. විහාරයක් සෑදු විට පින් සිදු වෙයි. ඒකාන්තයෙන්ම ජාති ජරා ව්‍යාධි මරණ දුකින් මිදෙයි. ආවාසයක් ඇතිවිට භික්ෂුන් වහන්සේට මහණ දම් පිරීමට ඉඩක් ලැබෙයි. භික්ෂු දර්ශනය සුලභ වෙයි. දායකයන්ට ඒ විහාරයට පැමිණ භික්ෂුන් වහන්සේගෙන් ධර්මය ඉගෙන ගැනීමට ලැබෙයි. ආවාසයක් නැති විට භික්ෂුන් දක්නට කැමති අයට සුවසේ භික්ෂුන් දක්නට නොලැබෙති. එහෙත් වනයෙහි වසන මුවා එක් තැනක නොඇලෙන්නාක් මෙන් බුද්ධ පුත්‍රයන් ඒ ආවාසයට ආලය නොකළ යුතු යයි බුදුපියාණෝ වදාළහ.

 

40. උදරසංයත ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ උදර පෝෂණයෙහි පමණ දැන වැළදීමෙන් සංයතකාරී හෙවත් සංවර වන්නේය යයි වදාළහ. එසේනම් උදායි පරිබ්‍රාජකයාට “සමහර දවසක මම පාත්‍රය පුරා වළදමි. එයට වඩාත් වළඳන්නෙමි” යයි වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, උදර පෝෂණයෙහි පමණ නොදන්නා තැනැත්තා පව් කරයි. ඔහු පර පණ නසයි. අනුන් නුදුන් දෙය ගනියි. වැරදි කාම සේවනයෙහි යෙදෙයි. බොරු කියයි. සුරා පානය කරයි. මව මරයි. රහතුන් මරයි. සංඝ භේදය කරයි. දෙව්දත් තෙරණුවෝද උදර පෝෂණයෙහි අසංයත වුවෙක් වූහ. සංඝ භේදය පවා කර අප්‍රමාණ අකුසල් රැස් කර ගත් හ. උදරයෙහි සංයතකාරී පුද්ගලයා සීල සමාධි ප්‍රඥාවෙහි හැසිරෙයි. දිවැසින් දැකීමේ හැකියාව, ඉතා සියුම් ශබ්ද පවා ඇසීමේ හැකියාව, අනුන්ගේ සිත් දැන ගැනීමේ හැකියාව, පෙර භව දැකීමේ හැකියාව ලබයි. මඟඵල වලට පැමිණෙයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කරයි. සියලුම ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරයි. කෙලෙස් සහිත අය සතර පස් පිඩක් ආහාර වළඳා පැන් බී සසර කතර ගෙවිය යුතුය. චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ආහාර සංයමය අත්‍යවශ්‍යය. බුද්ධත්වයට පැමිණියාවූ තථාගතයන් වහන්සේට තම කටයුතු කෙරෙහි සීමාවක්, ආවරණයක් නොවන්නේය. උපතින්ම පිරිසිදු වූ මැණිකක ඔප් නැංවීම සඳහා කිසිවක් කිරීම අනවශ්‍ය වන්නාක් මෙනි.

 

41. බක්කුලත්ථේර ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “මම භව දුකට හෙවත් කෙලෙස් රෝගයට වෙදාණන් වෙමි” යයි වදාළහ. එසේම තමාගේ අල්පාබාධික (නීරෝගී) භික්ෂුන් අතර බක්කුල තෙර අග්‍ර යයිද වදාළහ. බුදුපියාණන් අනුත්තර වූයේ නම් එසේ වන්නේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුසසුනෙහි චක්ඛුපාල තෙර, මහා කාශ්‍යප තෙර ආදී ධූතාංග පිරූ ශ්‍රාවකයෝද වූහ. ඒවා උන්වහන්සේලාගේ අතිරේක ගුණාංගයෝය. මේ ලෝකයෙහි මිනිසුන් අතර කෙනෙක් උසස් ජාති ඇත්තෙක් වෙයි. කෙනෙක් මහත් ධන සම්පත් ඇත්තෙක් වෙයි. කෙනෙක් අතිදක්ෂ වෙයි. කෙනෙක් මහත් ප්‍රඥාව ඇත්තෙක් වෙයි. මේ සියලු දෙනාම පරදවා රජු උතුම් වෙයි. එලෙසම අප බුදුපියාණෝද සියලු සත්වයන්ට අග්‍රවූ සේක. ශ්‍රේෂ්ඨ වූ සේක. බක්කුල තෙරුන් අල්පාබාධික වූයේ ප්‍රාර්ථනා වශයෙනි. මහරජ, බක්කුල තෙරණුවෝ අනෝමදස්සී නම් බුදුපියාණන් දවස බුදුපියාණන්ට ඇතිවූ උදරාබාධයක් සුව කර ඒ පිනින් උපනුපන් ජාතිවල කිසිම රෝගයක් ඇති නොවේවා යයි ප්‍රාර්ථනා කළහ. ඉන්පසු පදුමුත්තර නම් බුදුපියාණන් දවස සිවුවණක් පිරිස මැද එක් භික්ෂු නමකට අල්පාබාධික භික්ෂුන් අතර අගතැන් තනතුරු දෙනු දැක, එහි ප්‍රසන්නව මතු බුදුකෙනෙකුගේ ශාසනයෙහි එම තනතුර ලැබේවා යයි ප්‍රාර්ථනා කර බොහෝ කුසල් කළහ. නැවතත් කාශ්‍යප බුදුපියාණන් දවස දිරාපත් වූ සංඝාරාමයක් දැක එය අලුත්වැඩියා කර ආරෝග්‍ය ශාලාවක්ද තනවා දුන්හ. එයට අවශ්‍ය බෙහෙත් වර්ගද සපයා දුන්හ. මේ සියලු කුසල් කර අප මහ බුදුපියාණන් දවස කොසඹෑ නුවර සිටු කුලයක උපන්හ. ඔහු පිළිසිඳ ගත් දින සිටම එම සිටු කුලයට යස ඉසුරු ළඟා විය. දෙමව්පියෝ පුතුගේ නිරෝගි භාවය පතා උපන් දිනම යමුනා ගංඟාවෙහි නෑවීමට ගෙන ගියහ. එසේ යමුනාවෙහි ජලස්නානය කරවීම නීරෝගී භාවයට හේතු වන්නේය යනු එකල පිළිගත් මතයකි. කිරි මවකගේ ප්‍රමාද දෝෂයකින් එක්තරා මත්ස්‍යයෙක් මේ ළදරුවා ගිල දැම්මේය. කුමරාගේ පිනින් කිසි අනතුරක් සිදු නොවුනි. ළදරුවාගේ පිනින් මත්ස්‍යයාගේ කුස තුළ වේදනාවක් ඇතිවී තිස් යොදුන් පමණ වේගයෙන් පීනා ගොස් බරණැස නුවර විසූ ධීවරයන්ගේ දැලකට අසුවිය. ධීවරයෙක් මේ මත්ස්‍යයා දැක සතුටුව කදක දමා විකිණීමට ගියේය. ඒ මසු මිලට ගත් සිටු භාර්‍යාවක් මත්ස්‍යයාගේ කුස හුන් රන්වන් බිළිඳු දැක පුත්‍ර ස්නේහය උපදවා පෝෂණය කළාය. කොසඹෑනුවර විසූ මේ ළදරුවාගේ සිටු දෙමව්පියන් බරණැස එක් අපුත්තක සිටු කුලයක තම පුතා වැඩෙතැයි අසා එහි ගොස් ඒ දරු හට උරුමකම් කීයෙන් රජුගේ විනිශ්චය පරිදි දෙකුලයෙහිම පෝෂණය සඳහා කුමරා පැවරීය. සිටු පවුල් දෙකක වැඩුණ නිසා බක්කුල කුමරා යයි දඹදිව ප්‍රසිද්ධ වූ මොහු අප බුදුපියාණන් කොසඹෑ නුවරට වැඩි විට බණ අසා පැහැදී මහණව රහත් විය. පෙර කළ මහා කුසල් බලයෙන් බක්කුල තෙරණුවෝ නීරෝගී භික්ෂුන් අතර අග තනතුරද ලදහ. මහරජ, බුදුපියාණෝ හා සමාන කෙනෙක් සමස්ත ලෝකයේම නැත. බක්කුල තෙරුන්ට වූයේ පෙර බුදුවරුන් දවස පින්දහම් කළ ප්‍රාර්ථනාවක් ඉටුවීමකි. එම අගතැන දෙන ලද්දේ විමුක්තිලාභී රහතුන් වෙනුවෙනි. බුදුපියාණන් එයට අයත් නොවෙයි.

 

42. නිර්වාණ මාර්ග ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “මම පෙර බුදුවරුන් හැසිරුණා වූ පුරාණ මාර්ගය දුටිමි” යයි වදාළහ. එසේනම් “මම නූපන් මාර්ගය උපදවූයෙමි” යයි වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, පෙර බුදුවරුන්ගේ පිරිනිවීමෙන්, අනුශාසනා කරන මාර්ග දේශකයන් නැති වීමෙන් ආර්‍ය මාර්ගය අන්තර්ධාන විය. එසේ සැඟවී තිබුණ චතුරාර්ය සත්‍යය සියල්ල දන්නා නුවණින් යළිත් සොයා ගෙන ලෝකයට වදාළේ අප බුදුපියාණන් විසිනි. වනාන්තරයකින් වැසී තිබුණු ප්‍රදේශයක් එළිපෙහෙලි කර ගත් අයෙක් එම භූමිය තමාගේ යයි පවසන්නාක් මෙනි. සැබැවින්ම එම භූමිය ඔවුන්ගේ නොව පෙර තිබූ දෙයකි.

 

43. ලෝමස කාශ්‍යප ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ පෙර භවවලදී තමා කිසිවෙකුට හිංසා නොකළ බව වදාළහ. එසේනම් බෝසත් ලෝමස කාශ්‍යප තවුසා සිය ගණන් සතුන් මරා යාගයක් කිරීමට සූදානම් වූයේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, බරණැස් රජුට මුළු ලොවම රජ වීමෙහි කැමැත්තක් ඇති විය. ඒ සඳහා ලෝමස කාශ්‍යප තවුසා ලවා විශාල යාගයක් කළ යුතු විය. සිල්වතකුවු තවුසා එයට අකමැති විය. එවිට රජු යාගය කරන්නේ නම් තම දියණිය වන චන්ද්‍රවතිය තවුසාට විවාහ කර දෙන බවට පොරොන්දු විය. රජ කුමරිය දුටු තවුසා රාගයෙන් මත් විය. ධ්‍යානවලින් පිරිහුණි. විසුරුණු සිත් ඇත්තෙක් විය. යමෙකුගේ සිත විසුරුණු විට කළ නොහැකි දෙයක් නැත. අසූචි අනුභව කරයි. නග්නව වීදියෙහි ඇවිදියි. විෂකුරු සර්පයා වුවද අතින් අල්ලා ගනියි. මද කිපුණු ඇතා ඉදිරියට වුවද බිය නැතිව යයි. මහා සමුදුරටත් පනියි. දුෂ්කර ගිරි දුර්ග තරණය කරයි. ප්‍රපාතයකට වුවද පනියි. නොකටයුතු බොහෝ දේ කරයි. මෙසේ ලෝමස කාශ්‍යප තවුසා පර පණ නැසීමට සූදානම් වූයේ රාගයෙන් මත්වය. ඔහු හොඳ සිහියෙන් සිටියේ නම් එසේ නොකරනු ඇත. කාමයෙන් මත්වූ තවුසා පළමු යාග කණුවෙහි බැඳ සිටි ඇතා මැරීමට කඩුව ඔසවත්ම ඇතා මරණ භයින් තැතිගෙන මහා හඬ නැඟීය. ඒ අසා අනෙක් සත්තුද එක්විටම මහ හඬින් හැඬූහ. ඒ හඬ ඇසු තවුසාට ප්‍රකෘති සිහිය ලැබුණි. තමා කරන්නට යන ක්‍රියාවේ බරපතලකම වැටහුණි. පසුව අප වැනි තවුසන්ට මෙබඳු දේවල් සුදුසු නැතැයි පවසා නැවතත් වනයට ගොස් ධ්‍යාන උපදවා ගෙන මරණින් පසු බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුනි.

 

44. ජෝතිපාල මාණවක ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බෝසතුන් ජද්දන්ත නම් ඇත් රජුව සිටියදීත් අර්හත් ධජය වූ කාසාය වස්ත්‍රයට ගරු කළ බව සඳහන්ය. එසේනම් ජෝතිපාල මාණවකව සිටියදී කාශ්‍යප බුදුපියාණන්ට නිගා කළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බෝධිසත්වයන් ජද්දන්ත නම් ඇත් රජව සිටියදී තමා මරන්නට පැමිණි සෝණුත්තර නම් වැද්දා ඇඳ සිටි කාසාය වස්ත්‍රය දැක ඔහුට හිරිහැර නොකළ බවද සත්‍යය. ජෝතිපාල නම් මාණවකව සිටියදී තමාගේ මිත්‍රයා වූ ඝටීකාර නම් මාණවකව සිටියදී තමාගේ මිත්‍රයාවූ ඝටීකාර නම් වළං තනන්නා බුදුපියාණන් දකින්නට යමු යයි කී විට “සිවුරු පොරවාගත් ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් අපට කවර ප්‍රයෝජනයක්ද?” යයි පැවසූ බවද සත්‍යය. එසේ පැවසුවේ ඔහු මිථ්‍යාදෘෂ්ටික පවුලක කෙනෙකුව සිටි නිසාය. ජෝතිපාල මාණවකයාගේ මව්පියෝ, නැඟණිය, සහෝදරයා, දැසි දසුන් සියලු දෙනා බ්‍රහ්මයා ගරු කොට සැලකූ අය වූහ. බ්‍රාහ්මණයන් “තමන් උසස්ය. අන් අය පහත්‍ ය” යයි සිතාගෙන සිටි කොටසකි. අනෙක් ශ්‍රමණ අයට පැවිදි අයට නින්දා කිරීම, අවනම්බු කිරීම ඔවුන්ගේ සිරිතක් විය. කුඩා කල සිටම දෙමව්පියන්ගේ ඒ වචන අසා තිබූ නිසා ජෝතිපාල මාණවකයා එබඳු නිගරු වචන පැවසීය. පසුව මිතුරාගේ පෙරැත්තය නිසා බුදුපියාණන් හමුවට ගිය ජෝතිපාල මාණවකයා බණ අසා පැහැදී පැවිදි විය.

 

45. බ්‍රාහ්මණරාජ ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “මම බැහැර කරන ලද පව් ඇති බැවින් බ්‍රාහ්මණ වෙමි” යයි වදාළහ. එසේනම් සේල බ්‍රාහ්මණයාට “මම රජ වෙමි” යයි වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බ්‍රාහ්මණයෙක් වු කල දුරු කරන ලද කෙලෙස් ඇත්තේය. දුරු කරන ලද සැක ඇත්තේය. ඉන්ද්‍රිය දමනය ඇත්තේය. ශීල සංවරය ඇත්තේය. ධ්‍යාන සමවැදීම් ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේද දුරු කරන ලද කෙලෙස් ඇත්තේය. ඉන්ද්‍රිය දමනය ඇත්තේය. ශීල සංවරය ඇත්තේය. ධ්‍යාන වලට සමවැදීම් ඇත්තේය. එනිසා බුදුපියාණෝද බ්‍රාහ්මණ නම් වන සේක. මෙය දෙවි මිනිසුන් විසින් දෙන ලද නමක් නොව කෙලෙසුන්ගෙන් මිදීම් වශයෙන් ලැබුණු නමකි. බෝධි මූලයේදී මාර සේනාව පරාජය කර බුදුබව ලැබීමත් සමඟම ලැබුණු නමකි. මහරජ, රජෙක්වූ විට දශරාජ ධර්මයෙන් රට පාලනය කරයි. උපායෙන් වැසියන්ට අනුශාසනා කරයි. එලෙසම තථාගතයන් වහන්සේද කාම රූප අරූප යන තුන් ලෝකයම සද්ධර්මයෙන් පාලනය කරන සේක. බුද්ධ රාජ්‍යය කරවන සේක. බ්‍රහ්මයන් දෙවියන් මාරයන් සහිත මුළු ලෝකයාටම” මේ දේ කරන්න. මේ දෙය නොකරන්න” ආදි වශයෙන් අනුශාසනා කරන සේක. මහරජ, රජෙක්වූ විට සමීපයෙහි සිටින සමීපයට පැමිණි බොහෝ දෙනා විසින් වැන්ද යුතුය. බුදුපියාණන්ද සියලු දෙවි බඹුන් මිනිසුන් විසින් පසඟ පිහිටුවා වැඳිය යුතුය. එපමණක් නොව බුදුපියාණෝ සියලු දෙවි මිනිසුන්ට ප්‍රිය වන සේක. දෙවි මිනිසුන් විසින් ප්‍රාර්ථනා කරන සේක. බුදුසසුන ධර්ම ගුණ බලයෙන් බොහෝ කාලයක් පවත්වන සේක. එම නිසා බුදුපියාණෝ බුදු රජ නම් වන සේක.

 

46. සර්වඥගෝචර ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “මා විසින් ගාථා කියා ලබා ගත් මේ දානය වැළඳීමට සුදුසු නොවෙයි” යයි කසීභාද්වාජ බ්‍රාහ්මණයාට වදාළහ. එසේනම් ධර්ම දේශනා කරන විට පළමුව දානයෙහි ආනිශංස පවසන්නේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණෝ දහම් දෙසන විට පළමුව දානයෙහි ආනිශංස පවසන සේක. එය සියලු බුදුවරයන්ගේ සිරිතකි. පළමුව දාන කථාවෙන් සිත සතුටු කර දෙව්ලෝ ආදිය ගැන කියා දෙවනුව සීලයෙහි යොදවන සේක. දෙමව්පියන් කුඩා දරුවන් නැළවීමට පළමුව සෙල්ලම් බඩු දී පසුව අවශ්‍ය කටයුතුවල යොදවන්නාක් මෙනි. බුදුපියාණෝ වදාළ පරිදි භික්ෂුවක් දායක නිවසකට ගිය පසු ඔවුන් යමක් දෙනු කැමති නම් එය ලබාගත යුතුය. නොදෙනු කැමති නම් එහි නොසිට යා යුතුය. රෝගී භික්ෂුවක් හැර අනෙක් භික්ෂුවක් සිවුපසය ඉල්ලා ගෙන වැළඳීමද නුසුදුසුය. බුදුපියාණන් කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ දානය පිළිනොගත්තේ එය ලැබුණේ බොහෝ දහම් කරුණු පැහැදිලි කිරීමෙන් පසුව නිසාය. කසීභාරද්වාජ බ්‍රාහ්මණයා රහත් වීමට තරම් කුසල් ඇත්තෙක් බව බුදු ඇසින් දුටු බුදුපියාණෝ ඔහු වැඩ කරමින් සිටි කුඹුරට වැඩි සේක. කුඹුරෙහි වැඩ කරමින් සිටි මිනිස්සු බුදුපියාණන් දැක පැමිණ වැඳ පිරිවරා සිට ගත් හ. මෙයින් නොසතුටට පත් බ්‍රාහ්මණයා බුදුපියාණන්ට නිග්‍රහ කිරීමට සිතා “ශ්‍රමණය, මම මහන්සිවී ගොවිතැන් කර බත් අනුභව කරමි” ඔබද ගොවිතැන් කර බත් අනුභව කරන්න” යයි පැවසීය. පසුව බුදුපියාණන්ගේ බණ අසා පැහැදුණු බ්‍රාහ්මණයා රන් තලියක කිරිබත් පුරවා ගෙනවිත් “ස්වාමීනි, මෙය වැළඳුව මැනව” යයි පැවසීය. එවිට බුදුපියාණෝ උදය කාලයෙහි පටන් කුඹුර සමීපයෙහි සිට බත් සැන්දක්වත් නොලැබ බුදුගුණ පැවසූ පසු ලැබුණු දානය “නැටුම් කණ්ඩායමක් ගී ගයා නැටුම් නටා ලැබු දෙයක් හා සමානය” යයි සිතා දානය ප්‍රතික්ෂේප කර වදාළහ. එවිට බ්‍රාහ්මණයා ඒ පිළිගැන්වූ දානය කාට දෙන්නේදැයි විමසීය. සුජාතාවගේ කිරිබතට මෙන්, වේරංජාවේදී වියළි යව පෙති වලට මෙන් දිව්‍යමය රස ඕජස් මුහුකර තිබූ එම දානය බුදුපියාණන්ට හැර අනෙක් කෙනෙකුට දිරවා ගත නොහැකි බැවින් එය ගෙන ගොස් සතුන් නැති තැනක දමන්න යයි වදාළහ. එය දියෙහි දමූ විට බුද්ධානුභාවයෙන් චිටි චිටි ශබ්ද කෙරෙමින් දුම් නැගුණි. එයින් බියට පත් කසීභාරද්වාජ බ්‍රාහ්මණයා බුදුපියාණන් කරා පැමිණ වැඳ වැතිර පැවිදි බව ලබා රහත් විය.

 

47. බ්‍රහ්මාරාධනා ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ සියලු දෙවි මිනිසුන්ගේ යහපත උදෙසා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුවු සේක. එසේනම් අජපාල නුගරුක මුලදී බුදුපියාණන්ගේ සිත මන්දෝත්සාහී වූයේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, ධර්මය ගැඹුරුය. සියුම්‍ ය. කෙලෙස් භරිත සත්වයන්ට අවබෝධ කිරීම දුෂ්කරය. කිඹුලා කටින් ඩැහැගත් දෙයක් ගලවාගත (නැවත ගත) නොහැකි සේ මිනිසුන් තුළ මුල් බැස පවතින සත්ව පුද්ගල හැඟීම දුරු කිරීම අපහසු නිසා මෙසේ බුදුපියාණන්ගේ සිත මන්දෝත්සාහී විය. මහරජ, බුදුපියාණෝ  “මා අවබෝධ කළ සිවුසස් දහම හෙවත් චතුරාර්ය සත්‍යය ධර්මය දුකසේ දැකිය යුතුය. අවබෝධ කිරීම දුෂ්කරය. ශාන්තය. ප්‍රණීතය. තර්කයෙන් දැනගත නොහැකිය. නුවණැතියන් විසින්ම දත හැකිය. රාග, ද්වේෂ, මෝහ සහිත වූ අයට මෙය අවබෝධ කළ නොහැකිය. කෙසේ මොවුන්ට ධර්මය දේශනා කරම්ද?” යයි ධර්මයේ ගැඹුරු බව නිසා පසුබට වූ සේක. දක්ෂ වෛද්‍යවරයෙක් රෝගී මනුෂ්‍යයෙක් කරා එලඹ කවර උපක්‍රමයකින්, කවර බෙහෙතකින් මොහුගේ රෝගය සුව කරන්නේදැයි සිතන්නාක් මෙනි. එසේම මහරජ, මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පසුව ධර්ම දේශනා කිරීම සියලු බුදුවරයන්ගේ ධර්මතාවයකි. බුදුපියාණන්ට පෙර විසූ අය බ්‍රහ්මයා දේවතා කොට ගරු කොට සැලකූවෝ වූහ. එවන් බ්‍රහ්මයකු බුදුපියාණන්ට වඳිනු දකින විට දෙවියන් ඇතුළු ලෝවැසියෝත් එය නිතැතින්ම අනුගමනය කරමින් බුදුපියාණන්ට නමස්කාර කරති. ඒ අනුව සිතති. යම් මහරජ කෙනෙක් හෝ මහාමාත්‍යයෙක් යම් කෙනෙකුට නමස්කාර කරන විට අන් අයද නමස්කාර කරන්නාක් මෙනි. පූජා සත්කාර කරන්නාක් මෙනි. අජපාල නුගරුක මුලදි බුදුපියාණන්ගේ සිත මන්දෝත්සාහී වෙත්ම පෙනී සිටි මහා බ්‍රහ්මයා වැඳ එකත්පස්ව සිට “ස්වාමීනි, බුදු උපත දුර්ලභය. ඔබවහන්සේ මෙපමණ කලක් දුක් වින්දේ සියලු සතුන් සංසාර සාගරයෙන් එතෙර කිරීම සඳහාය. ඔබවහන්සේ ධර්මය දේශනා කරන්න. එය අවබෝධ කරන්නෝ ඇති වන්නාහ” යයි දහම් දෙසීමට ආරාධනා කළේය. ඔහුගේ ආරාධනාව පිළිගත් බුදුපියාණෝ බුදු ඇසින් ලොව බලන්නේ කෙලෙස් අඩු අය හා වැඩි අයද, දහම් දත හැකි අය හා නොදත හැකි අයද ඇති බව දුටු සේක.

 

48. ගුරු විරහිත ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ මට ගුරුවරයෙක් නැත. දෙවියන් සහිත ලෝකයෙහි මා හා සමාන හෝ මට වැඩි කෙනෙක් හෝ නැත” යනුවෙන් වදාළහ. එසේනම් “මාගේ ගුරුවරයා වූ ආළාරකාලාම ශිෂ්‍යයා වූ මා සම තත්වයේ ලා සැලකීය සත්කාර කළේය” යයි වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, බෝධිසත්වයන්ට ගුරුවරු පස් දෙනෙක් වෙයි. සිදුහත් කුමරු උපන් කල දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පරීක්ෂා කර බලා ඒකාන්තයෙන්ම ඔහු බුදුවන බව පැවසූ බ්‍රාහ්මණයන් අට දෙනා පළමුවන ගුරුවරයාය. සිදුහත් කුමරුට කුඩා කල ශිල්ප ඉගැන්වූ සබ්බමිත්ත බ්‍රාහ්මණයා දෙවන ගුරුවරයාය. වරින් වර පැමිණ සතර පෙර නිමිති පෙන්වා සිදුහත් කුමරු ගිහිගෙයි කලකිරවූ දේවතාවා තුන්වන ගුරුවරයාය. ආළාර කාලාම සතරවන ගුරුවරයාය. උද්දකරාමපුත්‍ර පස්වන ගුරුවරයාය. මහ බෝසතාණෝ ආළාරකාලාම තවුසා වෙත පැමිණ ඔහු දැන සිටි අරූප සමාපත්ති උපදවා ගෙන එය නිවන් මඟ නොවන බව දැන එතැනින් ඉවත්ව ගියහ. නැවත උද්දකරාමපුත්‍ර තවුසා කරා ගොස් ඔහු දැන සිටි අරූප සමාපත්ති උපදවා ගෙන එයද නිවනට මඟ නොවන බව දැන එතැනින්ද ඉවත්ව ගියහ. මේ අනුව ආළාරකාලාම උද්දකරාමපුත්‍ර සහ කුඩා කල ශිල්ප ඉගැන්වූ සබ්බමිත්ත බ්‍රාහ්මණයා ආදින් බෝධිසත්වයන්ගේ ගුරුවරුය. බෝධිසත්වයන් ලෞකික ගුණධර්මවල යෙදූ අයය. එහෙත් බුද්ධත්වය ලබාගැනීම සඳහා අනුශාසක ගුරුවරයෙක් නොවීය. බෝසතාණෝ තමන්ගේ නුවණින්ම සියල්ල දැනගෙන බුදුවු සේක.

 

49. ඒකබුද්ධධාරණී ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුවරයන් සියලු දෙනාගේ දේශනාව, ශික්ෂාව, කථාව සහ අනුශාසනාව එකමය. එනිසා තථාගතයන් වහන්සේලා දෙනමක් එකවර පහළ වන්නේ නම් ලෝකය බොහෝ ප්‍රභාවත් වනු ඇත. එසේ පහළ නොවන්නේ කවර කරුණක් නිසාද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, ලෝකයට වරකට දැරිය හැක්කේ එක් බුදුවරයකුගේ ගුණය පමණි. බුදුවරයෙකු උපදින දවස, බිහිවන දවස, බුදුවන දවස, දම්සක් දෙසන දවස, ආයුෂ හරණා දවස, පිරිනිවන් පානා දවස මේ ලෝකය කම්පා වෙයි. එම නිසා දෙවැනි බුදුවරයෙකුගේ උපත ලෝකයට දැරිය නොහැකිය. එක් අයෙක් එතෙර වන ඔරුවකට එක් අයෙක් නැඟි කල එය සමබර වෙයි. එම වයසේම එම ශරීර ප්‍රමාණයේම තවත් කෙනෙක් නැග්ගොත් එය ජලයෙහි ගිලෙයි. යම් පුද්ගලයෙක් උගුර දක්වා ආහාර අනුභව කර නැවතත් එබඳුම ආහාර ප්‍රමාණයක් අනුභව කළහොත් ඔහු මිය යයි. එසේම ගැල් (කරත්ත) දෙකක රත්‍ රන් පුරවා ඇති විට එයින් එක් ගැලක ඇති රත් රන් ගෙන අනෙක් ගැලෙහිම පිරවුවහොත් එම ගැල බිඳී යයි. බුදුබලය එබඳුය. මහරජ, බුදුවරු දෙදෙනෙක් එකවර පහළ වුවහොත් “ඔබගේ බුදුපියාණන්ය. අපගේ බුදුපියාණන්ය” යයි බෙදීමක් ඇතිවීමටද ඉඩ ඇත. එම දෙපිරිසෙහි සිටින සද්ධර්මය නොතේරෙන අය අතර වාද විවාද ඇති වීමටද ඉඩ ඇත. එසේම බුදුවරු දෙදෙනෙකු පහළ වුවහොත් 'තථාගතයන් වහන්සේ අග්‍රය'යන වචනය බොරු වෙයි” තථාගතයන් වහන්සේ අසමසමය” යන වචනය බොරු වෙයි. උත්තමය යන වචනය බොරු වෙයි. බුදුගුණය ඉතා මහත් බැවින් එක් බුදුවරයෙකු පහළවීම ධර්මතාවයකි. මේ ලෝකයේ මහත්වූ දේවල් ඇත්තේ එක බැගිනි. පොළොව ඇත්තේ එකකි. මහා සාගරය එකකි. ආකාශය එකකි. මාරයත් එක් කෙනෙකි. සක් දෙවිඳුත් ඇත්තේ එක් කෙනෙකි. මහා බ්‍රහ්මයන් එක් කෙනෙකි. බුදුවරුද එසේමය. ලෝකයේ බුදුවරු දෙදෙනෙක් එකවර පහළ නොවන බව බහූධාතුක සූත්‍රයෙහිද සඳහන්ය.

 

50. සංඝ පූජනීය ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, තම කිරි මව වන ප්‍රජාපතී ගෝතමිය විසින් තම අතින්ම වියු වැසි සළුවක් බුදුපියාණන්ට පූජා කළ විට “මෑණියනි, ඔය සිවුර සංඝයාට පූජා කරන්න. එවිට මටද පූජාකළා වෙයි” යනුවෙන් වදාළහ. එසේනම් සංඝරත්නය බුදුපියාණන්ට වඩා පූජා පිළිගැනීමට සුදුසු වන්නේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, සිදුහත් කුමරු ඉපදී සත්දිනකට පසු මහාමායා දේවිය කලුරිය කර දෙව්ලොව උපන්නාය. එකල මහා ප්‍රජාපතී ගෝතමී දේවිය එදවස තමන් කුසින් උපන් නන්ද කුමරු කිරිමව්වරුන්ට භාරදී මහා බෝධිසත්වයන් මහත් ප්‍රේමයෙන් වැඩුවාය. පසුව ලොවුතුරා බුදුව කපිලවස්තු පුරයට වැඩි විට අනන්තවූ බුද්ධශ්‍රීයෙන් බබළන්නාවු ලොව්තුරා බුදුපියාණන් දැක. “තුන්ලොවට සෙත් ගෙන දෙන මෙවන් බුදුරුවනක් පෝෂ්‍ය කර වැඩුවෙමි” යයි මහත් ප්‍රීතියට පැමිණ තම අතින්ම සිවුරක් වියා බුදුපියාණන්ට පුදමියි සිතුවාය. එසේ සිතා සිවුරක් වියා බුදුපියාණන් කරා ගොස් “ස්වාමීනි, මාගේ ස්වහස්තයෙන් ඔබ උදෙසාම කළ මේ සිවුර පිළිගන්න” යයි පැවසුවාය. එවිට බුදුපියාණෝ “මෑණියනි, ඔය සිවුර සංඝයාට පූජා කරන්න. එවිට මටද පූජා කළා වෙයි” යනුවෙන් වදාළහ. බුදුපියාණන් එසේ වදාළේ තමන්ට සිවුරු පිළිගැන්වීමෙන් පින් නොලැබෙන නිසාවත්, තමා දන් පිළිගැනීමට නුසුදුසු නිසාවත් නොව හේතු කීපයක් ඇතුවය. බුදුපියාණෝ අනාගතයේදී සංඝ රත්නය දෙවි මිනිසුන්ට පින් කෙත් කර තැබීම පිණිස එසේ වදාළහ. මතු පන්දහසක් අවුරුදු මුළුල්ලෙහි මාගෙන් පසු සංඝ තෙම ලෝකයා විසින් පූජා කරන ලද්දේ වේවා යයි සිතා එසේ වදාළහ. සංඝයාගේ ගුණය ප්‍රකාශ කිරීම සඳහා සංඝයාට හිත වැඩ පිණිස අනුකම්පාවෙන්ම එසේ වදාළහ. පිය රජු ජීවත්ව සිටියදීම තම පුත්‍රයාගේ ගුණ කියා යුවරජ තනතුරෙහි තබන්නේ නම් අනාගතයේදී ඔහු ජනතාවගේ ගරු බුහුමනට ලක්වන්නේය. බුදුපියාණෝද තම පුත්‍රයන්ට කළ යුතුවූ යුතුකම ජීවත්ව සිටියදීම ඉටු කළ සේක. මහරජ, බුදුපියාණන්ට වඩා දන් පිළිගැනීමට සුදුසුවූ කෙනෙක් තුන් ලෝකයේම නැත. බුදුපියාණෝම උත්තරීතර වූ සේක. “සියලු දෙවි මිනිසුන් අතර බුදුපියාණෝ අග්‍රවෙති” යයි මාණවගාමික දිව්‍යපුත්‍රයා විසින්ද පවසන ලදි. එහෙත් බුදුපියාණෝ සංඝගත දක්ෂිණාවේ මහත්ඵල දක්වමින් මෙසේ වදාළහ. “ආනන්දය, දන් දීමේදී තිරිසනාට දුන්නත්, දුශ්ශීලයාට දුන්නත් පින් සිදුවෙයි. සිල්වත් පුද්ගලයෙකුට, කාමයෙහි නොඇලෙන අන්‍යාගමිකයෙකුට දුන්නත් අනුසස් ඇත. සෝවාන් මාර්ගයේ ගමන් කරන තැනැත්තාට, සෝවාන් තැනැත්තාට, සකෘදාගාමී මාර්ගයේ ගමන් ගමන් කරන තැනැත්තාට, සකෘදාගාමී වූ තැනැත්තාට, අනාගාමී මාර්ගයේ ගමන් ගමන් කරන තැනැත්තාට, අනාගාමී වූ තැනැත්තාට, අර්හත් මාර්ගයේ ගමන් කරන තැනැත්තාට, රහතන් වහන්සේට දෙන දානයේ අනුසස් අප්‍රමාණය. පසේ බුදුපියාණන් කෙනෙකුට හෝ බුදුපියාණන්ට දෙන දානයේ අනුසස් කියා නිමක් නැත. ආනන්දය, සාංඝික දාන වර්ග හතකි. බුදුපියාණන් ප්‍රමුඛ භික්ෂු භික්ෂූණීන්ට දෙන දානය, බුදුපියාණන් පිරිනිවි කල පළමුව බුද්ධ පූජාව පවත්වා භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය, භික්ෂුන්ට පමණක් දෙන දානය, භික්ෂුණීන්ට පමණක් දෙන දානය, මෙපමණ භික්ෂු භික්ෂුණීන් අවශ්‍යය යයි පවසා දෙන දානය මෙපමණ භික්ෂුන් අවශ්‍යය යයි පවසා දෙන දානය සහ මෙපමණ භික්ෂුණීන් අවශ්‍යය යයි පවසා දෙන දානය යනුවෙනි. අනාගතයේදී කර බැඳි කහ කඩින් “අපි උපසම්පන්නයන් වෙමු” යයි පවසන දුශ්ශීලයන්ට සාංඝික කර දෙන දානයෙහිද අප්‍රමාණ අනුසස් ඇත” යනුවෙනි. මහරජ, මෙසේ බුදුපියාණෝ දක්ෂිණ විභංග සූත්‍රයේදී පෞද්ගලික දානයන් සහ සංඝගත දක්ෂිණා විස්තර කර පෞද්ගලික දානයට වඩා සංඝගත දක්ෂිණාවම මහත්ඵල ඇති බව වදාළහ. සංඝරත්නය දෙව් මිනිසුන්ට පින් කෙත් කර තබා වදාළහ.

 

51. ප්‍රවුජ්‍යා විශේෂ ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ “මම ගිහියාගේ හෝ පැවිදි අයගේ හෝ නිවැරදි ප්‍රතිපත්තිය වර්ණනා කරමි. මනාලෙස පිළිපදියි නම් ගිහියාටද නිවන දැකිය හැකිය” යයි වදාළහ. එසේ සැපයෙන්ම සැපතට පැමිණිය හැකි නම් ශික්ෂාපද රැකීමේ, ධූතාංග සමාදන් වීමේ, පැවිදිව දුක් ගැනීමේ තේරුමක් නොමැතිද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, යමෙක් පැවිදිවුවත් මහණ ධර්මය නොපිළිපදින්නේ නම් ඔහු ශ්‍රමණ භාවයෙන් දුරු වූවෙක් වෙයි. සුදුවත් ආදි විසිතුරු ඇඳුම් හඳින, පස්කම් සැප අනුභව කරන, අඹුදරුවන් රකින, මල් සුවඳ විලවුන් දරණ, මුදල් පරිහරණය කරන ගිහියා මනාලෙස පිළිපදින්නේ නම් නිවන ළඟා කර ගනියි. එසේ වුවත් පැවිදි බවේ අනේක අප්‍රමාණ ගුණ ඇත. පැවිදි බවේ ගුණය ප්‍රමාණ කළ නොහැකිය. සිතු පැතු දේ ලබාදෙන සිතුමිණ මිල කළ නොහැකි සේය. මහ මුහුදෙහි රළ මෙපමණ යයි පැවසිය නොහැකි සේය. එසේම පැවිදි අයගේ බලාපොරොත්තු වහා ඉටු වෙයි. බොහෝ කල් නොයයි. එයට හේතුව උන්වහන්සේලාට සැහැල්ලු පැවතුම් ඇත. වැඩි වැඩ නැත. විවේකීය. සන්සුන් ඉඳුරන් ඇත. පහසුවෙන් පෝෂණය කළ හැකිය. කුලයෙහි හෙවත් දායකයන් කෙරෙහි නොඇලෙති. ලද දෙයින් සතුටු වෙති. පිළිවෙත් පුරති. ධූතාංග පිරීමේ දක්ෂ වෙති. නිත්‍ය ගෘහයක් නැති ඔවුහු සම්පූර්ණ සිල් ඇති අය වෙති. පටන් ගන්නා ලද වීර්‍ය ඇති අය වෙති.

 

52. සීරළු ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුසසුන උතුම්‍ ය. පිරිසිදුය. නුවණ මඳ සමහරු අතිපිරිසිදු බුදු සසුනෙහි පැවිදිව ප්‍රතිපත්ති අත් හැර නැවත ගිහි බවට පැමිණෙති. ඒ දකින සමහරු බුදුසසුන හිස් එකකැයි සිතති. එමනිසා මඟඵල ලැබූ අය පමණක් පැවිදි කළ යුතු නොවන්නේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, උපැවිදි වීම සකල ශරීරයම අපවිත්‍ර වු පුද්ගලයෙක් පිරිසිදු වතුර ඇති මනරම් විලකට ගොස් එයින් පිරිසිදු නොවී ආපසු එන්නාක් මෙනි. දක්ෂ වෛද්‍යවරයෙකු ළඟට යන රෝගියෙක් වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර නොගෙනම ආපසු එන්නාක් මෙනි. බඩගින්නේ පීඩිතවූ පුද්ගලයෙක් මහා දන් සැලකට ගොස් බත් තිබියදීත් බත් අනුභව නොකර බඩගින්නේම ආපසු එන්නාක් මෙනි. මෙහිදී ලෝකයා වරද පටවන්නේ, ගර්හා කරන්නේ විලටවත් වෛද්‍යවරයාටවත් නොව ආපසු පැමිණි ඒ අඥාන පුරුෂයාටමය. එසේ වුවත් මහරජ, නුවණ මඳ අය ගිහි බවට පැමිණීමෙන් බුදු සසුනෙහි උතුම් බවම දක්වති. පැවිදි බවෙහි උතුම් බවම දක්වති. බුදු සසුන මහත්‍ ය. පිරිසිදුය. එම නිසා අපිරිසිදු අයට, පාපී පුද්ගලයන්ට, අදක්ෂ නුවණ මඳ වූවන්ට, ශීලයක් නැති අයට, සුචරිත ක්‍රියා නැති අයට එහි සිටිය නොහැකිය. සසුනෙන් පහව හීනවූ ගිහි බවට පැමිණෙති. මහරජ, මල් පිපී ඇති වනයක සමහර මල් පණුවන් කෑම නිසා ගිලිහී වැටෙයි. එයින් පිපුණු මල්වලට හානියක් නොවෙයි. නොවැටී සිටියාවූ පිපුණු මල්වල සුවඳ දස දිසාවෙහි පැතිරෙයි. රත් හඳුන් කැබැල්ලක එක් කොටසක් දිරා සුගන්ධය නැතුව යයි. නොදිරූ කොටසෙහි සුවඳ හාත්පස සුවඳ කරයි. එලෙසම සිල්වත් භික්ෂුන්ගේ සිල් සුවඳ දෙවියන් සහිත ලෝකයෙහි පැතිරෙයි. ශ්‍රද්ධාවක් නැති, අනුවණ අයගේ ගිහිවීමෙන් බුදුසසුනට හානියක් නොවෙයි. ඔවුන් ගිහි බවට පැමිණීමෙන් බුදුසසුනෙහි උතුම් බවම දක්වති.

 

53. ඒක වේදනා ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, “රහතන් වහන්සේලා කායික වේදනා විඳිති. සිතින් වේදනා නොවිඳිති” යයි ඔබවහන්සේ පවසති. රහතන් වහන්සේලාට කය කෙරෙහි අධිපති බවක් පැවැත්විය නොහැකිද?

 

නාගසේන තෙරණුවෝ -

එසේය මහරජ, සිත එකඟ කරගත් රහතන් වහන්සේලාටත් සීතය, උෂ්ණය, සාගින්න, පිපාසය, අසූචි, මුත්‍රා, නිදිමත, ජරාවට පත්වීම, ව්‍යාධිය සහ මරණය යන කරුණු කෙරෙහි පාලනයක් පැවැත්විය නොහැකිය. අධිපති බවක් පැවැත්විය නොහැකිය. ඒවා ශරීරය අනුවම පවතින දේවල්‍ ය. එසේ ශරීරය කෙරෙහි පාලනයක් පැවැත්විය නොහැකි වූවත් සීල සමාධි ප්‍රඥාවෙන් කීකරු කරන ලද, දමනය කරන ලද රහතන් වහන්සේලාගේ සිත නම් මරණ දුක්ඛ වේදනාවෙන්ද කම්පා නොවෙයි. මහා සුළඟක් හමන කල අතුපතර බෙදී ගිය ගසක අතු සෙලවුනත් කඳ නොසෙල්වෙන්නාක් මෙනි. රහතන් වහන්සේගේ සිතද මහා සුළඟින් කම්පා නොවන මහ කඳ මෙන් කිසිවකින් කම්පා නොවෙයි.

 

54. ගෘහස්ථ පාරාජිකා ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, යමෙක් ගිහි කල නොදැන මව මැරීම, පියා මැරීම, බෝධි කැපීම, රහතුන් මැරීම, බුදුපියාණන්ගේ ශරීරයේ ලේ සෙලවීම, භික්ෂුණීන් දූෂණය කිරීම යන පාප කර්මයන්ගෙන් එකක් කර පසුව පැවිදිව රහත් ඵලය පිණිස උත්සාහ කරන්නේ නම් ඔහුට නිවන අවබෝධ කරගත හැකිද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, නිවන් අවබෝධය සඳහා හේතුවන යම් දෙයක් ඇද්ද, එය ඔහු තුළ නැති නිසා ඔහුට රහත් විය නොහැකිය. හොඳින් සකස් කළ කුඹුරක ධාන්‍ය හොඳින් වැඩෙයි. එහෙත් ගල් තලාවක ධාන්‍ය නොවැඩෙයි. ධාන්‍ය වැඩීමට අවශ්‍ය දේවල් එහි නොමැති බැවිනි. ගොඩබිම ගිනි ඇවිළෙයි. ජලයෙහි ගිනි නොඇවිළෙයි. ගින්න හටගැනීමට, වැඩි දියුණුවීමට අවශ්‍ය දේවල් ජලයෙහි නොමැති බැවිනි..

 

55. ශ්‍රමණ දුශ්ශීල ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, ගිහි විනය වරදවා පිළිපදින ගිහි දුශ්ශීලයාගේ සහ ශ්‍රමණ විනය වරදවා පිළිපදින පැවිදි දුශ්ශීලයාගේ වෙනස කුමක්ද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, ගිහි දුශ්ශීලයා තුළ නැති ගුණ කිහිපයක් ශ්‍රමණ දුශ්ශීලයා තුළ ඇත. ශ්‍රමණ දුශ්ශීලයා බුදුපියාණන්ට ගරු කරයි. ධර්මයට ගරු කරයි. ඉගෙනීමට වීර්‍ය කරයි. බොහෝ දේ අසා ඇත. පිරිසක් අතරට ගිය විට මනා සිහියෙන් කටයුතු කරයි. නින්දා අපහාසවලට ඇති බිය නිසා හෝ කය වචනයෙහි සංවර බව රැක ගනියි.සිත එකඟ කර ගැනීමට උත්සාහ කරයි. ස්වාමි පුරුෂයෙක් ඇති ස්ත්‍රියක් රහසින් පරපුරුෂ සේවනය කරන්නාක් මෙන් ශ්‍රමණ දුශ්ශීලයා පවක් කළත් එය හොර රහසේ කරයි. එළිපිට නොකරයි. මහරජ, ශ්‍රමණ දුශ්ශීලයාට සැදැහැවතුන් දෙන දානය පවා කරුණු කීපයක් නිසා පිරිසිදු වෙයි. ආනිශංස ගෙන දෙයි. එනම් ශ්‍රමණ දුශ්ශීලයා බුදුපියාණන් විසින් පවා දරන ලද අරහත් ධජය වූ කසාවත දරයි. හිස මුඩුබව ඇත. සංඝරත්නයට ඇතුළත්ය. තෙරුවන් සරණ ගිය කෙනෙකි. හුදෙකලාව විවේකීව වාසය කරන කෙනෙකි. උතුම් සද්ධර්මය දේශනා කරයි. බුදුපියාණන් කාම රූප අරූප යන තුන් ලොවටම අග්‍ර බව පිළිගනියි. නොවරදවා ශීලයෙහි සමාදන් වෙයි. මෙම කරුණු නිසා වැරදි ලෙස හැසිරෙණ දුශ්ශීලයා පවා සැදැහැවතුන් දෙන දානය පිරිසිදු කරයි. නීරස ආහාරය වුවද බඩගින්න නැති කර ශරීර ශක්තිය ලබා දෙන්නා සේය. උණුවතුර වුවද ගින්දර නිවන්නා සේය. එසේම ශ්‍රමණ දුශ්ශීලයාට දෙන දානය දායකයා කෙරෙන්ද පිරිසිදු වෙයි. සිල්වත් පුද්ගලයෙක් කර්ම විපාක සලකා දැහැමිව ඉපයූ ධනයෙන් ශ්‍රමණ දුශ්ශීලයෙකුට දන් දෙන්නේ නම් දායකයා කෙරෙන් එය මහත්ඵල වන බව බුදුපියාණෝ වදාළහ.

 

56. නිෂ්ප්‍රපඤ්ච ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණන් වදාළේ තණ්හාව, වැරදි දැකීම, මානය යන කෙලෙසුන්ගෙන් දුරුව වාසය කරන ලෙසය. මගඵලවලට පැමිණෙන ලෙසය. එසේනම් භික්ෂුන් වහන්සේලා ධර්මය ඉගෙනීමේ, දන්දීමේ, පුදපූජා පැවැත්වීමේ, විහාරාරාම අළුත්වැඩියා කිරීමේ ප්‍රයෝජනයක් තිබේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, පෙර කළ පින් ඇති අය ඉක්මනින් රහත් වෙති. අංගුලිමාල, මහාකාශ්‍යප ආදී තෙරවරුන් එබඳු අයය. එහෙත් රාගාදි බලවත් කෙලෙස් ඇති අය කල්ගතවී රහත් වෙති. එබඳු අයට ධර්මය මනාව ඉගෙනීම, දහම් ඇසීම, දහම් දෙසීම, දන් දීම, තෙරුවන් කෙරෙහි පූජා පැවැත්වීම, විහාරාරාම අළුත්වැඩියා කිරීම ආදිය බොහෝ උපකාරී වෙයි. ප්‍රඥාවෙහි කෙළවරට පැමිණි සැරියුත් මහ තෙරුන්ටද ධර්මය අසන තුරු රහත්විය නොහැකි විය. දහම් ඇසීම එපමණම වැදගත්ය.

 

57. ද්වෙගති ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, යමෙක් ගිහිව සිටියදීම රහත් වුවහොත් ඔහු එදවසම පැවිදි විය යුතුය. නැතහොත් පිරිනිවන් පෑ යුතුය. එය රහත් බවේ දුර්වලතාවයක්ද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, උණ ලී වලින් කළ ලෑල්ලක් මත බර ගලක් තැබුවොත් උණ ලෑල්ල බිඳී වැටෙයි. එයට හේතුව උණ ලෑල්ලේ ඇති දුර්වල බවය. එලෙසම ගිහි බව දුර්වලය. මහත් වූ රහත් බව දැරීමට එය අසමත් වෙයි. එනිසා එදවසම පැවිදි විය යුතුය. නැතහොත් පිරිනිවන් පෑ යුතුය.

 

58. සිංහනාද ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, ලෝකයේ බුදුවරු, පසේ බුදුවරු, මහරහත්හූ දක්නට ලැබෙති. මහ රජවරු, දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යයෝද දක්නට ලැබෙති. සුගතිගාමීවූ දුගතිගාමීවූ සත්වයෝද දක්නට ලැබෙති. අශ්ව, ගව ආදී තිරිසන් සත්වයෝද දක්නට ලැබෙති. රන්, රිදි, මුතු මැණික්ද ඇත. මුං, තල ආදී ධ්‍යාන වර්ගද ඇත. ලෝකයෙහි නැති දෙයකුත් ඇත්ද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, තුන් ලෝකයෙහිම නැති ධර්මයන් හෙවත් කරුණු තුනක් ඇත. එනම් ජරා මරණයට පත් නොවන්නාවූ දෙයක් හෝ කෙනෙක් ලොව නැත. ලොව පවතින කිසිවක් නිත්‍ය නැත. සත්‍ය වශයෙන් විමසා බැලූ කල සත්වයෙක් පුද්ගලයෙක් නැත යනුවෙනි.

 

59. නිර්වාණ විමතිච්ඡේදන ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, ලෝකයෙහි සියල්ල ඇතිවන්නේ හේතුවක් ඇතුවය. හේතුවක් නොමැතිව හටගන්නා දෙයකුත් ඇද්ද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, හේතුවක් නොමැතිව හටගන්නා දේවල් දෙකක් ඇත. එනම් ආකාශය සහ නිවනයි. නිවන ඇත. එය මනසින් (සිතින්) දැන ගත යුතු දෙයකි. ආර්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි මනා ලෙස ගමන් කළ තැනැත්තා, සීල සමාධි ප්‍රඥාවෙහි හැසිරුණු තැනැත්තා අර්හත්ඵල මනසින් නිවන දකියි. නිවන ඇතත් නිවනේ ස්වාභාවය මෙසේ යයි දැක්විය නොහැකිය. වාතය ඇතත් වාතය මෙබඳු වර්ණ, මෙබඳු ස්වාභාව ඇත්තකැයි දැක්විය නොහැකිවාක් මෙනි. එසේම නිවන පිහිටි ස්ථානයක්ද නොමැත.

 

60. සර්වඥඍෂි ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, නාරද, අතුල ආදී ඍෂිවරු ශරීරයෙහි අට අනුවක් රෝග හටගන්නා බවත්, ඒවාට කල යුතු ප්‍රතිකාර මොනවාද යන්නත් තමන්ගේ නුවණින් දැන එකවරම පැවසූහ. එසේනම් සියල්ල දත් බුදුපියාණන් ශික්ෂාපද සියල්ලම එකවර නොපැණවූයේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, මුලදීම ශික්ෂාපද පැණවූවොත් “මේ ශාසනයේ බොහෝ දේ රැකිය යුතුය. පැවිදිවීම දුෂ්කරය” කියා පැවිදි වීමට කැමති අයද පැවිදි නොවීමට ඉඩ ඇති බව බුදුපියාණන්ගේ බුදු ඇසට පෙනුණි. ශික්ෂාපද පැණවීමට කරුණක් ඇතිවූ විටම පමණක් ශික්ෂාපද පැණවූයේ එබැවිනි.

 

61. සූර්‍යොපක්ලේශ ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, සූර්‍යයා නිතරම දීප්තිමත්ව බබළන්නේද?

 

නාගසේන තෙරණුවෝ -

එසේය මහරජ, සූර්‍යයා සැම කලම දීප්තිමත්ව බබළයි. සුළු මොහොතක්වත් එහි දීප්තිමත් බව අඩු නොවෙයි. සමහර දිනවල දීප්තිය අඩුවන්නේ හේතු සතරක් නිසාය. එනම් පොළොවෙන් නඟින දුම් නිසා, වලාකුළු තිබෙන විට, වැස්ස නිසා සහ රාහු ගිල ගැනීම නිසා යනුවෙනි.

 

62. ක්‍රෑරප්‍රභා ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, සමහර කාලවලදී සූර්‍යයා ඉතා තදින් දිලිසීමටත්, සමහර කාලවලදී එසේ නොවීමටත් හේතුව කුමක්ද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, ශ්‍රීෂ්ම (උෂ්ණ) කාලයේදී පොළොවෙන් නඟින දූවිලි වලින්, තද සුළං වලින් සහ වලාකුළුවලින් සූර්‍ය රශ්මිය වසා ගනියි. එවිට හිරු රශ්මිය අඩුවෙයි. හේමන්ත (ශීත) කාලයේදී වලාකුළු අඩුවෙයි. මඳ සුළං හමයි. දූවිලි නැත. අහස පැහැදිලිය. එවිට හිරු රැස් දැඩිවෙයි.

 

63. පුත්‍රදාන ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, සියලුම බෝසත්වරු අඹුදරුවන් දන් දෙන්නේද? එසේ නොමැතිනම් වෙස්සන්තර රජු පමණක් අඹුදරුවන් දන් දුන්නේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, සියලුම බෝසත්වරු අඹුදරුවන් දන් දෙති. සිවි රට ජයතුරා නුවර සඳමහ රජුගේ සහ ඵූසති දේවියගේ පුතුවූ වෙස්සන්තර කුමරු කුඩා කාලයේදීම නව වරක් තම ගෙලෙහි පැළඳී රන් මාල කඩ කඩා කිරි මව්වරුන්ට දන් දුන්නේය. අට හැවිරිදි වියේදී බද්ධ පර්‍යංකයෙන් වාඩිවී “යම්කෙනෙක් පැමිණ මගේ හදවත ඉල්ලන්නේ නම් හදවත ගලවා දෙමි. දෙඇස ඉල්ලන්නේ නම් දෙඇස ගලවා දෙමි. ශරීර මාංසය ඉල්ලන්නේ නම් ශරීර මාංශය දෙමි. රුධිරය ඉල්ලන්නේ නම් රුධිරය දෙමි. “වෙස්සන්තර මට දාස වෙව” යයි යමෙක් කියන්නේ නම් ඔහුට දාස වෙමි” යයි පවසා බුදු බව පතා ජීවිතදානය දෙන්නට සූදානම් විය. දහසය හැවිරිදි වියේදී මද්‍රි දේවිය හා විවාහවූ වෙස්සන්තර රජු දශරාජ ධර්මයෙන් ( දානය, සීලය, පරිත්‍යාගය, ඍජු භාවය, මෘදු භාවය, පෙහෙවස්හී යෙදීම, මෛත්‍රිය, අවිහිංසාව, ඉවසීම, අවිරුද්ධභාවය ) කල් යැවීය. ඒ අතරතුර දුර්භික්ෂයෙන් පීඩිතව කලිඟු රටින් පැමිණි බමුණන්ට අකාලයෙහි වැසි වැස්සවීමට තරම් මහානුභාව සම්පන්න “පිණ්ඩා” නම් හස්ති රාජයා බුදු බව පතා අතපැන් වත්කර දන් දුන්නේය. මෙයින් කෝපයට පත් වැසියෝ වෙස්සන්තර රජු වංකගිරි පර්වතයට පිටමං කරන්න යයි සඳමහ රජුගෙන් ඉල්ලා සිටියහ. මෙපුවත ඇසූ වෙස්සන්තර රජු සතුටට පත්ව තමා සතු සියල්ල දන් දී දෙදරුවන් සහ මද්‍රි දේවියද කැටුව අශ්ව රථයකින් වංකගිරිය බලා පිටත්විය. අතරමඟදී කිසිවක් ඉල්ලා පැමිණි බමුණන්ට රථයද දන්දී පයින්ම වංක ගිරිය බලා පිටත්විය. එහිදි තම දෑසවන් ජාලිය, කෘෂ්ණජිනා යන දරුවන් ජූජක බමුණාට බමුණාට දාස මෙහෙවර පිණිස දන් දුන්නේය. මහලු බමුණාට මද්‍රි දේවිය දන් දුන්නේය. මෙසේ මහ දන් දෙන කල සත්වරක් මහ පොළොව කම්පා විය. මෙසේ අති දුෂ්කරවූ ක්‍රියාවන් කළ බැවින් කීර්ති ඝෝෂාවද දෙවි මිනිසුන් අතර පතළ විය. වෙසතුරු රජ යමෙක් කිසිවක් ඉල්වුයේ නම් ඒ දෙයම දන් දුනි. දූදරුවන් ඉල්ලු බමුණාට දූ දරුවන් දන් දුනි. එතුමා අඹුදරුවන් දන් දුන්නේ ඔවුන් කෙරෙහි අප්‍රියතාවයකින් හෝ ඔවුන් දැකීමට අකමැති නිසා හෝ පෝෂ්‍ය කිරීමට නොහැකි නිසා හෝ නොව බුදුබව පතාමය. ජූජක බමුණා දරුවන්ට තලනු දුටු වෙසතුරු රජුගේ දෑස් කඳුලින් තෙමී ගියේය. හදවත උණු විය. එහෙත් පෙර බෝධිසත්වවරයන් ධන පරිත්‍යාගය, අංග පරිත්‍යාගය, ජීවිත පරිත්‍යාගය, පුත්‍ර පරිත්‍යාගය, කලත්‍ර (භාර්‍යාව) පරිත්‍යාගය යන පංච මහා පරිත්‍යාග කර ලොව්තුරා බුදුවු බව සිතා, සිත සනසා ගත්තේය. දිනක් බුදුපියාණෝ “ශාරිපුත්‍රයෙනි, ඒ වෙස්සන්තරව උපන්නාවූ මට දරුවන් දෙදෙන අප්‍රිය නොවීය. මද්‍රි දේවිය අප්‍රිය නොවීය. එහෙත් එයට වඩා මට සර්වඥතා ඥානය ප්‍රිය විය. එහෙයින් මම ප්‍රියවූ අඹු දරුවන් දන් දුනිමි” යයි වදාළහ. මහරජ, බෝධිසත්වවරු අඹුදරුවන් දන්දෙන කල ඔවුන්ගේ කැමැත්තෙන්ම දන්දෙති. මද්‍රි දේවිය දන්දෙන කල ඇය එම පින අනුමෝදන් වූවාය. දරුවන් “අම්මේ තාත්තේ” යනුවෙන් විලාප දුන්නේ ඔවුන් ළදරු බැවින් සහ දානයෙහි විපාක නොදන්නා බැවිනි. ශක්‍ර බ්‍රාහ්මණයා මද්‍රි දේවිය අනෙක් අයෙක් හට නොදෙවයි කියා රජුටම භාරදී ආපසු ගියේය. දරුවන් දන්දීමෙන් සිදුවූයේද යහපතකි. වනයේ දුෂ්කර ජීවිතයක් ගෙවූ දරුවන් බමුණාට දන් දීම නිසා සඳමහ රජු අතට පත් විය. සඳමහ රජු බමුණාට සම්පත්දී දරුවන් නිදහස් කර ගත්තේය.

 

64. ඤාණපරිපාක ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, සියලුම බෝධිසත්වවරු දුෂ්කර ක්‍රියා කරන්නේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, සියලුම බෝධිසත්වවරු දුෂ්කර ක්‍රියා නොකරති. ගෞතම බෝධිසත්වයන්ට සය වසරක්ම දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවූයේ අභිනිස්ෂ්ක්‍රමණය කරන මොහොත වන විට සියල්ල අවබෝධ කර ගැනීමේ නුවණ මෝරා නොතිබුණු නිසාය. බෝසතාණෝ සතර පෙර නිමිති දැක, නිළියන්ගේ විප්‍රකාරය දැක සසර කලකිරී සත්‍ය සතර අවබෝධ කර ගැනීමේ නුවණ මේරීමට පෙරම අභිනිෂ්ක්‍රමණය කළහ. දුෂ්කර ක්‍රියා සමයේදීද ආහාර නොගැනීම නිසා සිත එකඟ නොවුණි. පසුව කුඩා අවදියේදී වප් මඟුල් දින දඹගස් සෙවණේදී වඩන ලද ආනාපානසති භාවනාව සිහිපත්ව එය පිහිට කර ගෙන බුද්ධත්වය ලැබූහ.

 

65. පුණ්‍යාධිකතර ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, බොහෝවිට අකුසල්වල විපාක මෙලොවදීම ලැබෙයි. කුසල විපාක එලෙස නොලැබෙන්නේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, කුසල් කරන අය පරලොවදී සැප විපාකද අකුසල් කරන අය පරලොවදී දුක් විපාකද ලබති. එහෙත් අකුසල්වල විපාක සමහරවිට මෙලොවදීම ලැබෙයි. ඒ අකුසල් කරන අයට පාප ක්‍රියා කරන අයට දඬුවම් දිය යුතුය යයි නියම කර ඇති බැවිනි. කුසල් කරන අයට සම්පත් දිය යුතු යයි නියමයක් නැත. එහෙත් දන්දීම් සිල්‍ රැකීම් ආදී කුසල් කර මෙලොවදීම විපාක වශයෙන් ජීවත්ව සිටියදීම දෙව්ලොව ගිය සතර දෙනෙකු ගැන කියවෙයි. ඒ මහාමන්ධාතු රජු, නිමි රජු, සාධීන රජු සහ ගුත්තිල පණ්ඩිතයෝය. එසේම බුදුපියාණන් ජීවමාන කල සිටි සත් දෙනෙක්ද දන්දීම නිසා මෙලොවදීම කුසල විපාක ලැබූ බව සඳහන් වෙයි. එසේම මහරජ, අකුසලය ඉතා ස්වල්ප බැවින් වහා පිරිනැමෙයි. කුසලය ඉතා මහත් බැවින් දීර්ඝ කාලයකින් පිරිනැමෙයි.

 

66. ඥාතිප්‍රේත පින්පෙත් ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, මිය පරලොව ගිය පසු සියලු දෙනාටම පින් ලබාගත හැකිද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, සමහර මිය ගිය අය පින් ලබති. සමහර මිය ගිය අය පින් නොලබති. මෙලොව ජීවත්ව සිටියදී අකුසල් කරන අය මරණින් මතු නරකයෙහි උපදිති. ඔවුන්ට නෑයන් පින් දුන්නද ඒවා නොලැබෙයි. තිරිසන් යෝනියෙහි උපදනා අය තිරිසන් සතුන්ගේ ආහාරයෙන් යැපෙති. තිරිසනුන්ටද පින් නොලැබෙයි. සමහරු මරණින් මතු දෙව්ලොව ඉපදී දෙවියන්ගේ ආහාරයෙන් යැපෙති. එයද පින් නොලැබෙන තැනකි. ගින්නෙන් දවනු ලබන බිල සහිත ගසක් මෙන් ශරීරය ඇතුළත ක්ෂුධා ගින්නෙන් ඇවිළෙන නිජ්ඣාමතණ්හිත ප්‍රේතයෝද, බොහෝ කාලයක් කෑම බීම නැතුව සාපිපාසා දෙකින් පීඩිත වුවත් නොමැරෙන ඛුප්පිපාසික ප්‍රේතයෝද, වමනය ගැබ්මල ආදිය අනුභව කරන පංසු පිසාචක ප්‍රේතයෝද පින් නොලබති. නෑයන් විසින් දෙනු ලබන පින්වලින් යැපෙන පරදත්තූපජීවි නම් ප්‍රේතයෝ සිහිකරන විටම පින් ලබති. මිය ගිය කෙනෙකු උදෙසා දන් දුන් විට ඔහු ප්‍රේත ලෝකයට පැමිණ නැත්නම් ප්‍රේත ලෝකයට පැමිණ සිටින අනෙකුත් නෑයෝ එම පින් ලබති. පින් ලබා ගැනීමට කිසිවකු නැත්නම් දානයේ විපාක දායකයාටම ලැබෙයි. යම් කෙනෙක් තම නෑයන් බැලීමට රසවත් කෑම, තෑගි බෝග සූදානම් කරගෙන යයි. ඔහුට එම නෑයන් හමු නොවුණොත් ඒ ගෙන ගිය දේවල් අපතේ නොයයි. ඒවා ගෙන ගිය අයටම නැවත ලැබෙන්නාක් මෙනි.

 

මිලිඳු රජු - ස්වාමීනි, යමෙකුට දරුණු අකුසලයක් කර එය තම ඥාති ප්‍රේතයන්ට පැමිණේවායි අනුමෝදන් කළ නොහැකිද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, කුසල කර්මය බෙදා ගත හැකිය. එහෙත් අකුසලය බෙදා ගත නොහැකිය. උපමාවකින් කිවහොත් තෙලින් පහන් දැල්විය හැකිය. ජලයෙන් පහන් දැල්විය නොහැකිය. ජලය ඇල වේලී කපා ඕනෑම දුරකට ගෙන යා හැකිය. එහෙත් ගල් පර්වත එසේ ගෙන යා නොහැකිය. ගොවියෝ වැව් පොකුණුවල ජලය ගෙන ගොවිතැන් කරති. මහා සමුදුරෙහි ජලයෙන් එය කළ නොහැකිය. අකුසල් බෙදා ගත නොහැක්කේ අකුසලය ස්වල්ප වන බැවිනි. මඳ වන බැවිනි. අකුසලය ස්වල්ප බැවින් එය කරන්නාටම යයි. අනුන් හා බෙදා ගත නොහැකිය. කුඩා ජල බිංදුවක් පොළොවට පතිතවූ (වැටුණු) කල පොළවෙහි පැතිර නොගොස් එතනම සිඳී යන්නා සේය. කුසලය ඉතා බොහෝය. මහ වැස්සක් වැසි කල හාත්පස පැතිරෙයි. විල්, ගංඟා, ළිං පොකුණු පුරවා ලයි. ඒ වැස්ස මහත් බැවිනි. එසේම කුසලයද බොහෝ වන බැවින් සියලු දෙවි මිනිසුන් සමඟ බෙදා ගත හැකිය. කුසල් බොහෝ වීමටද හේතුවක් ඇත. කුසල් කරන්නා සතුටු වෙයි. ප්‍රසන්න සිත් ඇත්තෙක් වෙයි. ප්‍රිති සිත් ඇත්තාගේ කුසල් නැවත නැවතත් වැඩෙයි. අවුරුදු ගණනකට කලින් කරන ලද කුසලය නැවත සිහි කරන්නේ නම් එයිනුත් කුසල් වැඩෙයි. බෙදා ගැනීමටද හැකි වෙයි. අකුසල් කරන්නා අකුසල් කළ අජාසත් මහ රජු මෙන් පසුව පසුතැවිලි වෙයි. මා කළ දේ නපුරුය යයි සිතා ශෝක කරයි. තැවෙයි. බියවෙයි. අයින් අකුසල් නොවැඩෙයි. නොපැතිරෙයි.

 

67. මහා ස්වප්න ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, මේ ලෝකයෙහි ස්ත්‍රි පුරුෂයෝ යහපත්වුද අයහපත්වුද සැප ඇත්තවුද භය සහිතවුද සිහින දකිති. මේ සිහින යනු කුමක්ද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, සිතට යමක් අරමුණුව පැමිණේද එය සිහිනයයි. නොයෙක් හේතු නිසා සිහින පෙනෙයි. ශරීරයේ වාතය කිපීම නිසා අහස් ගමන් ආදිය දකියි. පිත කිපීම නිසා ගින්දර දකියි. සෙම කිපීම නිසා ජල ක්‍රීඩා ආදිය දකියි. හිත වැඩ පිණිස දෙවියන් විසින් සිහින දක්වයි. පෙර පුරුදු කථා, ක්‍රීඩා ආදිය නිසා සිහින දකියි. තමාට අනාගතයේ සිදුවන වැඩ අවැඩ පිණිස පූර්ව නිමිති වශයෙන් සිහින දකියි. මෙසේ සය ආකාරයකට සිහින දකියි. මෙයින් පූර්ව නිමිති වශයෙන් දකින සිහින සත්‍ය වෙයි. සෙසු සිහින සැලකිය යුතු නොවෙයි. පූර්ව නිමිති වශයෙන් මහාමායා දේවිය බෝසතුන් පිළිසිඳ ගත් දින දුටු සිහිනය, බෝධිසත්වයන් බුදුවීමට පෙර දුටු සිහින පස, කොසොල් රජු දුටු සිහින දහසය මේ අනුව සත්‍යය වෙයි. කෙනෙක් පූර්ව නිමිති වශයෙන් සිහින දකින විට සිත ගොස් ඒ නිමිත්ත නොසොයයි. වෙන කෙනෙක් පැමිණද නොපවසයි. නිමිත්තම සිතට වැටහෙයි. කන්නාඩියක ඡායාවක් වැටෙන්නාසේය. මෙම සිහින දකින විට තද නින්දේදීත් නොදකියි. අවදියෙන් සිටින විටත් නොදකියි. වඳුරු නින්ද හෙවත් අඩ නින්දෙහිදී සිහින දකියි. අවදියෙන් සිටින විට අරමුණු ගන්නා නිසා සිහින නොදකින අතර තද නින්දේදී භවාංග ගතවූ සිත අරමුණු නොගන්නා බැවින් සිහින නොදකියි.

 

68. අකාල මරණ ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, අකල් මරණ සිදුවන්නේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, මේ ලෝකයෙහි කාලයෙහි මිය යන සත්වයන් මෙන්ම අකාලයෙහි මිය යන සත්වයන්ද ඇත. උපමාවකින් කිවහොත් අඹ ගසක සමහර අඹ පැසී ඉදී වැටෙයි. සමහර අඹ ගෙඩි අකාලයේ කුණුවී වැටෙයි. පණුවන් කා වැටෙයි. සුළඟින් සෙලවී වැටෙයි. ජරාවට පත්ව වයසට පත්ව මිය යාම කාල මරණයයි. සමහරු වාතය කිපීමෙන්, පිත කිපීමෙන්, වා පිත් සෙම් තුනම කිපීමෙන්, විෂම ආහාර ගැනීමෙන්, දේශගුණය වෙනස් වීමෙන් සහ අනුන්ගේ උපක්‍රම නිසා අකාලයේ මිය යති. තවත් සමහරු පෙර කළ අකුසල කර්ම වලින් මිය යති. අනුන් බඩගින්නේ තබා මැරූ අය කුසගින්නෙන් පීඩිතව ආයුෂ තිබියදී මිය යති. අනුන්ට පැන් නොදී තබා මැරූ අය පැන් පොදක් නොලැබ මිය යති. අනුන් සර්පයන් ලවා දෂ්ට කරවා මැරූ අය නාගයන් දෂ්ට කිරීමෙන් නිසි ප්‍රතිකාර නොලබා මිය යති. අනුන්ට විෂ දී මැරූ අය ආහාරයට විෂ එක්වීමෙන් මිය යති. අනුන් ගින්නෙහි ලා මැරූ අය ගින්නෙන් දැවී මිය යති. අනුන්ට ආයුධවලින් පහරදී මැරූ අය ආයුධවලින් පහර ලැබ අකාලයේ මිය යති. අනුන් ජලයෙහි ගිල්වා මැරූ අය ගංඟා, ඇළ දොළ, වැව් පොකුණු ආදියෙහි වැටී ගොඩ ඒමට ඉඩක් නොලැබ ආයුෂ තිබියදීම අකාලයේ මිය යති.

 

69. චෛත්‍ය ප්‍රාතිහාර්‍ය ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි පිරිනිවියාවූ සියලුම රහතන් වහන්සේලාගේ චෛත්‍යවල (සොහොන් කොත්, සිහිවටන ආදියෙහි) ප්‍රාතිහාර්‍ය පහළ වේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, සමහර රහතන් වහන්සේලාගේ චෛත්‍යවල ප්‍රාතිහාර්‍ය පහළ වන අතර සමහර රහතන් වහන්සේලාගේ චෛත්‍යවල ප්‍රාතිහාර්‍ය සිදුනොවෙයි. රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයෙන් ප්‍රාතිහාර්‍යය සිදුවිය හැකිය. මිනිසුන්ගේ ශ්‍රද්ධාව දියුණු කිරීම සඳහා සමහර දෙවිවරුද චෛත්‍යවල ප්‍රාතිහාර්‍ය දැක්වීමට ඉඩ ඇත. බලවත් සැදැහැවතුන්ගේ පුණ්‍ය ක්‍රියාවක් මඟින් කෙරෙන අධිෂ්ඨානමය සත්‍ය ක්‍රියාවලින්ද ඇතැම් විටක ප්‍රාතිහාර්‍ය සිදුවිය හැකිය.

 

70. නිර්වාණාභව්‍ය ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, මනා ලෙස පිළිපදින්නාවූ සියලු දෙනාටම ධර්මය අවබෝධ කර ගත හැකිද?

 

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, මනා ලෙස පිළිපදින්නාවූ සියලු දෙනාටම ධර්මය අවබෝධ නොවෙයි. මනා ලෙස පිළිපදින්නාවූ තිරිසනුන්ටද, ප්‍රේතයන්ටද, නියත මිත්‍යාදෘෂ්ටිකයන්ටද, කුහකයාටද, ආනන්තර්‍ය පාප කර්ම කළ තැනැත්තාටද, භික්ෂුණී දූෂකයාටද ධර්මය අවබෝධ නොවෙයි. අඩුවු සත් හැවිරිදි ළදරුවාටද ධර්මය අවබෝධ නොවෙයි. අඩුවූ සත් හැවිරිදි ළදරුවා තුළ රාගය ද්වේෂය මෝහය මානය නොමැත. ඔහු ක්ලේශයන් හා අමිශ්‍රය. එහෙත් ඔහුගේ චිත්තය (සිත) දුබලය. ඉතා කුඩාය. එහෙයින් දුර්වල වූ සිතින් ඉතා මහත්වූ අමෘත මහා නිර්වාණ ධාතුව ඔහුට අවබෝධ කළ නොහැකිය. ජල බින්දුවකින් මහ පොළව තෙත් කළ නොහැකි සේය. ජල බින්දුව කුඩාය. මහ පොළව විශාලය. කුඩා කෘමියාට හස්තියකු ගිලින්නට නොහැකිවාක් මෙනි. කෘමියාගේ ශරීරය ඉතා කුඩා වන අතර හස්තියාගේ ශරීරය මහත්‍ ය. එලෙසම අඩුවු සත් හැවිරිදි ළදරුවාගේ සිත මහත්වූ අවිද්‍යා අන්ධකාරයෙන් වැසී ඇත. එනිසා ප්‍රඥා ආලෝකය දැල්වීම දුෂ්කරය.

 

71. නිර්වාණ සාත ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, නිවන ඒකාන්ත සැප ඇති දුකින් අමිශ්‍ර වුවක් යයි කියවෙයි. නිවන සොයන පුද්ගලයාට සක්මන් කිරීම, භාවනා කිරීම, අල්ප ආහාර ගැනීම, නිදිවර්ජිතව සිටීම ආදී බොහෝ දුක් විඳීමට සිදුවන්නේ නම් නිවන දුකින් අමිශ්‍ර වූවක් යයි පවසන්නේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, නිවන පරම සැපතයි. එහි දුකක් නොමැත. යම් දුකක් විදීමට සිදුවනවා නම් එසේ වන්නේ නිවන් මඟ ගමන් කිරීමේදීය. රජ සැපත දුකින් අමිශ්‍රය. එහෙත් රජ සැප ලබා ගත යුත්තේ බොහෝ දුක් විඳ සතුරන් සමඟ යුද්ධ පවා කිරීමෙනි. එම යුද්ධ කිරීම සැපතක් නොවෙයි. සමහරවිට ජීවිතය පවා නැති වීමට ඉඩ ඇත. රජ සැප එකකි. එය ලබා ගැනීමේදී විඳින දුක තවත් එකකි. දුක සේ සතුරන් නසා රජ සැප අනුභව කරන රජ දරුවන් මෙන් නිවන සොයන්නන් දුකසේ නිවන සොයා ගෙන නිවන් සැප විඳිය යුතුය.

 

72. නිර්වාණ අරූප ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, නිවනෙහි සටහනක් හෝ රූපයක් දැක්විය හැකිද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, නිවනෙහි සටහනක් හෝ රූපයක් දැක්විය නොහැකිය. මහා සමුද්‍රය ඇතත් එහි කොපමණ ජල ප්‍රමාණයක් ඇතිද යයි කිව නොහැකිවාක් මෙනි. එහෙත් නිවනෙහි ගුණ දැක්විය හැකිය. එය පද්මයක් ජලයෙන් වෙන්ව පවතින්නාසේ රාගාදි කෙලෙසුන්ගෙන් වෙන්ව පවතියි. ජලය සේ සීතල ගුණය ඇත්තේ සියලු කෙලෙස් ගිනි නිවයි. බෙහෙතක් සේ සියලු සසර දුක් කෙළවර කරයි. අජර, අමර (ජරා මරණ නැති) වෙයි. මහා සමුද්‍රය සේ සියලු කෙලෙස් කූණපයන්ගෙන් හිස් වූයේ වෙයි. සමුද්‍රය සියලු ගංඟාවන් ගලා ආවත් නොපිරෙන්නා සේ නිවනද සියලු දෙනා නිවන් දුටුවත් නොපිරෙයි. මහා සමුද්‍රය මහා සත්වයන්ට ආවාස (නිවස) වුවා සේ නිවනද සියලු මහා කාශ්‍යප, සාරිපුත්‍ර ආදී මහ රහතන් වහන්සේලාට ආවාස වෙයි. නිවන සාක්ෂාත් කළ අයගේ ඍද්ධිබල ගුණ වර්ණනාව වැඩෙයි. සියලු කෙලෙස් නසයි. මැණිකක් සේ නිවන ප්‍රීතිය ඇති කරයි. නිවන ආකාශය සේ අනන්තය. පර්වතයක් සේ අචලය. මෙසේ අනන්තවූ ගුණයන්ගෙන් හෙබියේය.

 

73. නිර්වාණ සාක්ෂාත් කරණ ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, නිවන කෙබඳු දෙයක්ද? එය ලබන්නේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, නිවන අභය භූමියක්, ක්ෂේම භූමියක් ලෙස සැලකිය යුතුය. කුණු ගඳ ගසන මළකුණු සමුහයකට (පස්කම් සැප) මැදිවූ පුද්ගලයෙක් එයින් ගැලවී එන්නාක් මෙනි. කඩු ගත් අත් ඇති සතුරු සේනාවකට (ජාති ජරා ව්‍යාධි මරණය නිසා ඇතිවන බිය) මැදිවූ කෙනෙක් එයින් ගැලවී එන්නාක් මෙනි. ගින්නට අසුවූ ගින්නට මැදිවූ පුද්ගලයෙක් මහත් වෑයමෙන් එයින් මිදී ගිනි නැති තැනකට ගොස් මහත්වූ සැපතක් ලබයි. මෙහිදී ගින්න රාග, ද්වේෂ, මෝහ බඳුය. පුද්ගලයා යෝගාවචරයා (භාවනානුයෝගියා) බඳුය. නිදහස් ස්ථානය නිර්වාණය බඳුය. සතියෙන් යුතුව මෙසේ රාග, ද්වේෂ, මෝහ නැති කිරීමෙන් නිවනට ළඟා විය හැකිය. යෝගාවචරයා සියල්ල හේතුඵල වශයෙන් විමසයි. දකියි. ඔහු ජාතිය දකියි. ජරාව දකියි. ව්‍යාධිය දකියි. මරණය දකියි. සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දකියි. හරයක් නැති දේවල් ලෙස දකියි. මඳ සැපයකුදු නොදකියි. සසර කලකිරෙයි. දැලකට අසුවු මත්ස්‍යයකු සේ උගුලකට අසුවූ සතෙකු සේ සසරින් මිදීමට කැමති වෙයි. කෙලෙස් දුරු කරයි. වනයෙහි අතරමං වූ පුද්ගලයෙක් තම ගමට පැමිණෙන මාර්ගයක් දැක සතුටු වන්නාක් මෙන් නිවනට පැමිණෙන මඟ දැක සතුටු වෙයි. එම ආර්‍ය මාර්ගයෙහි වීර්‍යයෙන් ගමන් කර නිවනට ළඟා වෙයි.

 

74. නිර්වාණ සිද්ධි ප්‍රශ්නය

මිලිඳු රජු - ස්වාමීනි, නිවන පිහිටි ස්ථානයක් තිබේද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, නිවන පිහිටි ස්ථානයක් නොමැත. මේ ලෝකයෙහි ගින්දර ඇතත් එය පිහිටි තැනක් නොමැත. වියළි ලී දෙකක් එකට අතුල්ලන විට ගින්දර මතුවෙයි. එලෙසම නිවන ඇත. පිහිටි තැනක් නොමැත. මනා ලෙස පිළිපන් යෝගාවචරයා සීලයෙහි පිහිටා නුවණින් මෙනෙහි කිරීමෙන් නිවනට ළඟා වෙයි.

 

75. මහා අනුමාන ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, ඔබවහන්සේ විසින් හෝ ඔබවහන්සේගේ ගුරුවරු විසින් හෝ බුදුපියාණන් දැක නැත. එසේනම් බුදුපියාණන් වැඩ සිටි බව පවසන්නේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, ඔබගේ රාජවංශය ආරම්භ කළ අය ඔබවත් ඔබගේ පිය රජුවත් දැක නැත. එහෙත් ඔවුන් සිටි බව ඔබ විශ්වාස කරයි. ඒ ඔවුන් ප්‍රයෝජනයට ගත් සේසත්, නළල් පට, රන් මිරිවැඩි සඟල, වල් විදුනාව, ශ්‍රී යහන ආදිය දක්නට ලැබෙන හෙයිනි. එසේම අප බුදුපියාණන් විසින් ප්‍රයෝජනයට ගත්, භාවිතා කළ දේවල් අදත් දක්නට ඇත. සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රධාන, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝධි අංග සහ ආර්‍ය අෂ්ටාංගික මාර්ගය යන ධර්මයන් නිසා දෙවි මිනිස්සු බුදුපියාණන් සිටි බව දනිති. අදහති. මහරජ, මනාවූ සුවද ආඝ්‍රාණය කරන මිනිස්සු මල් පිපුණු සපු, දුණුකේ ආදි ගස් ළඟ ඇති බව දැනගනිති. එලෙසම ලොව පැතිර යන සීල සුගන්ධය නිසා ලෝවැසියෝ බුදුපියාණන් සිටි බව අනුමානයෙන් දැන ගනිති. හස්තිරාජයෙක් ගිය පියවර දකින මිනිස්සු මේ හස්තියකුගේ පියවර යයි අනුමානයෙන් දැන ගනිති. එලෙසම සච්ච බද්ධ, සමන්තකූට, නර්මදා නදී, පුලිනතිරය ආදියෙහි තැබූ ශ්‍රීපාද ලකුණු දැක නුවණැත්තෝ “බුදුපියාණෝ ඉතා මහත් (උතුම්) වන සේක” යයි දැන ගනිති. ඒ අප ලොවුතුරා සද්ධර්ම චක්‍රවර්තිවූ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ සද්ධර්ම මහා නගරයෙහි බුද්ධ රාජ්‍යය කරා අමා මහ නිවන්පුර වැඩි සේක.

 

76. ධූතාංගානිශංස ප්‍රශ්නය

මිලිඳු රජු -

ස්වාමීනි, ගිහියන්ට නිවන් දැකිය හැකි නම් පාංසුකූලික, පිණ්ඩපාතික, රුක්ඛමුලික ආදී ධූතාංගයන්ගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, පාංසුකූල සිවුරු පමණක් පරිහරණය කිරීම, තුන් සිවුරු පමණක් හැඳීම, පෙරවීම, පිණ්ඩපාතයෙන් ලැබෙන දානය හැර කිසිවක් නොවැළඳීම, ගෙපිළිවෙලින් පිඬුසිඟා යාම, එක් ආසනයක් පමණක් පාවිච්චි කිරීම, එකම පාත්‍රයෙහි පමණක් වැළදීම, දවසට එක් වරක් පමණක් වැළඳීම, වනාන්තරවල වාසය කිරීම, ගසක් මුල වාසය කිරීම, රාත්‍රි කාලයෙහි සොහොනක සිට භාවනා කිරීම, එළිමහන් තැනක වාසය කිරීම, සිව්පසයේදී ලද දෙයින් සතුටුවීම සහ සැතපීමෙන් වැළකීම යනුවෙන් ධූතාංග හෙවත් දුෂ්කර සිල් දහතුනකි. ධූතාංගවල ඇති ගුණ නිසා සියලු බුදුවරයන් වහන්සේලා ඒවාට කැමති වෙති. එම ගුණ නම් ධූතාංග දිවි පැවැත්ම පිරිසිදු කරයි. නිවැරදි කරයි. සැප විපාක දෙයි. ධූතාංග පුරන්නා නිර්භය වෙයි. අනුන්‍ට දුක් නොදෙයි. නොපිරිහෙයි. සංවර වෙයි. තෘෂ්ණාවෙන් මිදෙයි. රාග ද්වේෂ මෝහ නැති කරයි. කම්මැලිකම දුරු කරයි. එසේම ධූතාංග එය දරන්නාට බොහෝ උපකාරී වෙයි. ඒවා නම් සියලු කෙලෙස් දුරු කරයි. ( කෙලෙස් කම්පා කර හරියි ) භය දුරු කරයි. ශෝකය දුරු කරයි. රාගය දුරු කරයි. සියලු දුක් නැති කරයි. සියලු අකුසල ධර්මයන් දුරු කරයි. නිවැරැදිව පිණ්ඩපාතය සොයයි. දැහැමින් එය වළඳයි. මල් නොතලා රොන් ගන්නා බඹරුන්සේ දායකයන් නොපෙළයි. දායකයන් වෙහෙස කළේ යයි චෝදනා නොලබයි. දෙවි මිනිසුන්ට ප්‍රියවෙයි. ඉක්මනින් අර්හත්ඵලයට පැමිණෙයි. පුජාවට සුදුසු වෙයි. මහරජ, සියලු දෙනාටම ධූතාංග පිරිය නොහැකිය. ශ්‍රද්ධාව ඇති, පාපයෙහි ලජ්ජා භය ඇති, අධික ධෛර්ය ඇති, කපටි නැති, සසුනෙහි දියුණුව පතන, සිවුපසයෙහි ගිජු බවක් නැති, ශික්ෂාකාමීව වාසය කරන, නොකිපෙන, මෛත්‍රියෙන් වාසය කරන පුද්ගලයෝ ධූතාංග පිරීමට සුදුස්සෝ වෙති. මෙසේ ධූතාංග පුරණ භික්ෂුහු බුදුසසුනෙහි ඊශ්වර වෙති.සියල්ලන් වසඟයෙහි පවත්වන සුලුය. සුවඳ පද්මයක් ලෝකයාට ප්‍රියවන්නාක් මෙනි. එමෙන්ම පෙර භවයේදී පුරුදු කරන ලද, සම්පූර්ණ කරන ලද ධූතාංග ඇත්තෝ මේ භවයේදී මෛත්‍රි සිත් ඇත්තෝ වෙති. දුරු කරන ලද මානය ඇත්තෝ වෙති. දෙවි මිනිසුන්ට ප්‍රිය වෙති. සුළු වරදෙහිද බිය දකිති. ලෝකයා හා නොඇලෙති. සද්ධර්ම සේනාධිපතිවූ සැරියුත් තෙරුන්ද ධූතාංග පිරුවෙකි. මහරජ, ගිහියන් නිවන් දකිත් නම් ඒ සියලු දෙනා පෙර ජාතිවල ධූතාංග පිරුවන්‍ ය. ධූතාංග ගුණයෙන් පිරිසිදු නොවූ අයට ධර්මය අවබෝධ නොවෙයි. ජලය නොමැතිව පැළ හට නොගන්නාක් මෙනි. කුසල් නොකරන්නාට, යහපත් ක්‍රියාවන් නොකරන්නාට ස්වර්ග සම්පත් නොලැබෙන්නාක් මෙනි.

 

77. යෝගි කථා ප්‍රශ්න

යෝගි කථා ප්‍රශ්නය 1

මිලිඳු රජු -

ස්වාමීනි, රහත් බව ලැබීමට උත්සාහ කරන කෙනෙකු තුළ තිබිය යුතු ගුණධර්ම මොනවාද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, මේ ශාසනයෙහි රහත් බව ලැබීමට කැමති තැනැත්තා කුකුළා අලුයම අවදිවන්නාක් මෙන් අලුයම අවදිවී කළ යුතු වතාවත් කළ යුතුය. කුකුළා වේලාසනම තම කූඩුවෙහි ලැගීමට යන්නා සේ භාවනානුයෝගියා සවස් වන විටම කළ යුතු වතාවත් නිම කර භාවනාවට එළඹිය යුතුය. කුකුළා පොළොව සාරමින් අනුභව කළ යුතුවූ ආහාර ගන්නා සේ ජීවිතයේ පැවැත්ම සඳහා පමණක් ආහාර ගත යුතුය. ශක්තිය වැඩීම පිණිස, සිරුර වැඩීම පිණිස ආහාර නොගත යුතුය.සාපිපාසාදී දුක් නසනු පිණිස, ජීවිතයේ පැවැත්ම පිණිස, බ්‍රහ්මචර්‍යාවෙහි හැසිරීමට ( බ්‍රහ්මයකුසේ හැසිරීමට ) අනුග්‍රහ පිණිස ආහාර ගත යුතුය. කුකුළාට කොපමණ හිරිහැර කළත් තමා වසන ගෙය අත් නොහරින්නාක් මෙන් නුවණින් මෙනෙහි කිරීම අත් නොහැරිය යුතුය. කුකුළාට ඇස් ඇතත් රාත්‍රියෙහි නොපෙනෙන්නා සේ ඇස් ඇතත් අන්ධයෙකු මෙන් විසිය යුතුය. කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනෝ අරමුණුවල නොඇලිය යුතුය. නැවත නැවත මෙනෙහි නොකළ යුතුය. මහා කච්චායන තෙරුන් භාවනානුයෝගියා ඇස් ඇතත් අන්ධයෙකු සේද, කන් ඇතත් බිහිරකු සේද, දිව ඇතත් ගොළුවෙකු සේද, බල ඇතත් දුබලයෙකු සේද සිටිය යුතුය යයි පැවසුවේ එබැවිනි. ලේනා සතුරකු ළං වන විට වලිගය විදහා ගෙන පහර දෙන්නාක් මෙන් කෙලෙස් මතු වන විට සතිපට්ඨාන නැමති මුගුරෙන් ඒවාට පහර දිය යුතුය. දරුවන් වැදීමේ දුක් දන්නා බැවින් දෙවන වරටත් ගැබ් නොගැනීමට ප්‍රවේසම්වන දිවි දෙනක මෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක් දැක නැවත නූපදින්නට සිතා ගත යුතුය. දිවියා පර්වතයක, කැලෑවක, දිය පහරක් ළඟ සැඟවී සිට මුවන් අල්ලා ගන්නා සේ වනාන්තර, ගස්මුල්, පර්වත, ගුහා ආදී මිනිසුන් නිතර නොගැවසෙන විවේක නිහඬ ස්ථානයක සිට භාවනා කළ යුතුය. ඔහු ඉක්මනින් ප්‍රතිඵල ලබයි. දිවියා තමා මැරූ සතෙකු වම් පැත්තට වැටුණොත් ජීවිතය නැති වුවත් අනුභව නොකර පලා යන්නා සේ වැරදි ලෙස ලත් භෝජනය නොවැළදිය යුතුය. භික්ෂුවක් නම් ගිහියන්ගේ කටයුතු කර දීම, ගුරුකම් කර දීම, නැකත් බැලීම ආදියෙන් ලද භෝජනය නොවැළඳිය යුතුය. ඉදිබුවා ජලයෙහිම වාසය කරන්නා සේ භාවනානුයෝගියා මෛත්‍රි සහගත සිතින්ම කල් යැවිය යුතුය. කෙනෙකු දුටු විට ඉදිබුවා ජලයෙහි ගැඹුරට ගිලෙන්නාසේ කෙලෙස් මතු වන විට අනිත්‍යයෙහි ගිලිය යුතුය. අනිත්‍ය සිහිපත් කළ යුතුය. ඉදිබුවා පොළොව හාරා විවේකයෙන් වාසය කරන්නා සේ ලාභ සත්කාර හැර විවේකයෙන් වාසය කළ යුතුය. ඉදිබුවා භයක් පැමිණි කල ඉබි කබලෙහි සැඟවෙන්නා සේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනෝ අරමුණු ළං වන විට සතියෙන් නිවැරදි සිහියෙන් සිටිය යුතුය. හුණගස වාතය හමන දිසාවට නැමෙන්නා සේ බුද්ධ වචනයම අනුගමනය කළ යුතුය. දුන්නක් නැමෙන්නාසේ ගරු කළ යුත්තන් කෙරෙහි නැමිය යුතුය. නොනැමෙන ගතිය දුරු කළ යුතුය. කපුටා කවුරුන් හෝ තමාට හිරිහැර කරනු ඇතැයි විමසිල්ලෙන් සිටින්නාසේ කෙලෙසුන් කෙරෙහි විමසිල්ලෙන් සිටිය යුතුය. කෙලෙසුන්ට ළං වීමට ඉඩ නොදිය යුතුය. කපුටා කෑමක් දුටු විට ශබ්ද නඟා නෑයන් කැඳවා ඔවුන් හා සමව බෙදා ගෙන අනුභව කරන්නා සේ තමන්ට ලැබුණු දෙය අන් අය හා බෙදා ගෙන වැළඳිය යුතුය. සැරියුත් තෙරණුවෝ තමන්ට ලැබෙන දානය සියලු දෙනාට බෙදා දී එයින් ඉතුරුවු දෙය පමණක් වැළඳුහ. වානරයා ආරක්ෂාව ඇති මහ ගසක වාසය කරන්නා සේ තමාට යහපත සලසන කල්‍යාණ මිත්‍රවූ ගුරුවරයකු ඇසුරු කළ යුතුය. වානරයා ගසෙහි හැසිරෙමින්, එහිම හිඳිමින්, එහිම නිදමින්, රාත්‍රියත් එහිම ගත කරන්නාසේ වනයෙහිම විසිය යුතුය. එහිම සතර ඉරියව් (ඇවිදීම, හිඳ ගැනීම, සිට ගැනීම, නිදීම) පැවැත්විය යුතුය. එහිම සිට සතර සතිපට්ඨාන නැමැති අමෘතය අනුභව කළ යුතුය. ලබුවැල ගසක හෝ ලීයක එල්ලී වැඩෙන්නා සේ අනිත්‍ය අරමුණෙහිම එල්ලී ගෙන සිටිය යුතුය.

 

යෝගි කථා ප්‍රශ්නය 2

ජලයෙහි ඉපිද ජලයෙහි වැඩුණ පද්මය ජලය හා නොඇලෙන්නා සේ කිසිවකු හෝ කිසි දෙයක් කෙරෙහි නොඇලිය යුතුය. පද්මය ජලයෙන් ඉතා උස්ව නැඟී සිටින්නාක් මෙන් සීල, සමාධි, ප්‍රඥාවෙහි හැසිරී සියලු මිනිසුන් අභිබවා සිටිය යුතුය. මඳ සුළඟටද පද්මය සෙලවෙන බැවින් තමා තුළ ඇති ස්වල්පවූ කෙලෙස් කෙරෙහිද බිය දක්නා සුලුව වාසය කල යුතුය. නැව බොහෝ ජනයන් එතෙර කරන්නා සේ යෝගාවචරයා දෙවි මිනිසුන් සසරින් එතෙර කළ යුතුය. නැව රළ වේගය ඉවසන්නා සේ සැප, දුක්, නින්දා, ප්‍රශංසා, ලාභ, අලාභ, යස, අයස යන අෂ්ට ලෝක ධර්මයෙහි කම්පා නොවිය යුතුය. නැව කෙළවරක් නොපෙනෙන ගැඹුරුවූ මහ සයුරෙහිම ගමන් කරන්නා සේ චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙහිම සිත හැසිරවිය යුතුය. නාවිකයා මහ සයුරෙහි ඇති යහපත් අයහපත් තැන් දන්නා සේ කුසල් අකුසල් මනාව දැන ගත යුතුය. නාවිකයා අනතුරු වළක්වමින් නැව සිහිනුවණින් යුතුව හසුරුවන්නා සේ සිහිනුවණින් යුතුව, වීර්‍යයෙන් යුතුව ප්‍රථම ධ්‍යානය වැඩිය යුතුය. නාවිකයා අන් අයට නැව හැසිරවීමට ඉඩ නොදෙන්නා සේ තම සිතට කාම, ව්‍යාපාද, විහිංසා යන අකුසල් සිතුවිලිවලට ඒමට ඉඩ නොදිය යුතුය. මහා සමුද්‍රය මළකුණු සමඟ වාසය නොකරන්නා සේ, ඒවා රළ මඟින් වෙරළට ගසන්නා සේ, රාග ද්වේෂ මෝහ ගුණමකුබව කපටිකම ආදි දුශ්චරිත සමඟ වාසය නොකළ යුතුය. ඒවා ඉවත් කළ යුතුය. මහා සයුර විවිධ රත්නයන් දරන්නාසේ, සයුරෙන් පිටතට නොවිසුරුවන්නා සේ තමා ලත් සමාධි ධ්‍යාන මාර්ගඵල ආදිය අසත්පුරුෂයන්ට නොකිව යුතුය. කොපමණ ජලය ගලා ආවත් මහා සයුර වෙරළ නොඉක්මවන්නා සේ කොපමණ ලාභ සත්කාර ලැබුණත් ශික්ෂාපද කඩ නොකළ යුතුය. ජීවිතය පරදුවට තබා ශික්ෂාපද රැකිය යුතුය. කොපමණ ජලය ගලා ආවත් මහා සයුර වෙරළ නොඉක්ම වන්නා සේ කොපමණ ලාභ සත්කාර ලැබුණත් ශික්ෂාපද කඩ නොකළ යුතුය. ජීවිතය පරදුවට තබා ශික්ෂාපද රැකිය යුතුය. කොපමණ ජලය ගලා ආවත් මහා සයුර නොපිරෙන්නා සේ කොපමණ ධර්මයේ හැසිරුණත් තෘප්තියට නොපැමිණිය යුතුය. මහ පොළොව කපුරු සඳුන් ආදි සුවඳ වර්ග දමන කලද සෙම් සොටු අසුචි ආදී අපවිත්‍ර දේ දමන කලද ඉවසා සිටින්නා සේ අෂ්ට ලෝක ධර්මයෙහි අකම්පිතව වාසය කළ යුතුය. මහ පොළොවෙහි සිදුරු නැත්තා සේ සිදුරු නොවූ පිරිසිදු සීලයෙන් යුක්ත විය යුතුය. මහ පොළොව හිතවතුන් කෙරෙහිත්, අහිතවතුන් කෙරෙහිත් එක සමානව සිටින්නා සේ සම සිතින් වාසය කළ යුතුය. ජලය ස්වාභාවයෙන්ම පිරිසිදුව පවතින්නා සේ යෝගාවචරයාද පිරිසිදු සීලයෙන් යුතුව වාසය කළ යුතුය. ජලය සීතල ගුණයෙන් යුක්ත වූවා සේ සියලු සත්වයන් කෙරෙහි හිතවත් විය යුතුය. ජලය සියලුම අපිරිසිදු දේ පිරිසිදු කරන්නා සේ කායික වාචසික සංවරයෙන් සියලු දෙනාගේ සිත් ප්‍රසන්න කළ යුතුය. සියලු දෙනා ජලය ප්‍රාර්ථනා කරන්නා සේ ලෝකයා විසින් ගුණගරුක යෝගාවචරයන් ප්‍රාර්ථනා කළ යුතුය. ජලය කිසිවෙකුට අහිතක් නොකරන්නා සේ සිතින් කයින් වචනයෙන් කිසිවෙකුට නපුරක් නොකළ යුතුය. ගින්න සියල්ල දවන්නා සේ ප්‍රඥාවෙන් කෙලෙස් දැවිය යුතුය. ගින්න කිසිවෙකුට දයාවක් නොදක්වන්නා සේ රාග, ද්වේෂ ආදී සියලුම කෙලෙස් කෙරෙහි දයාවක් නොපෑ යුතුය. ගින්න සියල්ලන් කෙරෙහි සම සිතින් උණුසුම දෙන්නා සේ දයා, ක්‍රෝධ දෙකින් මිදී සියලු දෙනා කෙරෙහි සම සිතින් වාසය කළ යුතුය. ගින්න අඳුර දුරු කර ආලෝකය පතුරවන්නා සේ අවිද්‍යා අන්ධකාරය දුරු කර ඥානාලෝකය පැතිරවිය යුතුය. වාතය ගස් කළඹන්නා සේ කෙලෙස් සෙලවිය යුතුය. වාතය අහසෙහි හැසිරෙන්නා සේ සතරමඟ, සතරඵල, නිවන යන ලෝකෝත්තර ධර්මයන්හී හැසිරිය යුතුය. වාතය කිසි තැනක වාසය නොකරන්නා සේ කිසිවකු කෙරෙහි නොඇලී මිදුණු සිතින් වාසය කළ යුතුය.

 

යෝගි කථා ප්‍රශ්නය 3

පර්වතය හමන සුළඟින් නොසෙලවෙන්නාසේ අටලෝ දහමින් කම්පා නොවිය යුතුය. පර්වතය කිසිවෙකු හා එකතු නොවන්නා සේ රූප ශබ්ද ආදියෙහි නොඇලිය යුතුය. පර්වතයෙහි පැළ හට නොගන්නා සේ තම සිතෙහි කෙලෙස් හටගැනීමට ඉඩ නොදිය යුතුය. පර්වතය ඉතා උස්ව නැඟී සිටින්නාසේ ප්‍රඥාවෙන් උස්ව නැඟී සිටිය යුතුය. පර්වතය උඩඟුද නොවන්නා සේ කිසිවෙකුට යටත්ද නොවන්නා සේ උපේක්ෂා සහගත (මැදහත්) විය යුතුය. ආකාශය කිසිවකට ආශා නොකරන්නා සේ නැවත ඉපදීමට කැමති නොවිය යුතුය. ආකාශය අනන්ත වූවා සේ (කෙළවරක් නැති) අනන්ත වූ සීලයෙන් හා ප්‍රඥාවෙන් යුක්ත විය යුතුය. ආකාශය කිසිවක නොඇලෙන්නා සේ කිසිවක් හෝ කිසිවකු කෙරෙහි නොඇලිය යුතුය. සඳ පුර පක්ෂයෙහි වැඩෙන්නා සේ ගුණ ධර්මයෙන් වැඩිය යුතුය. සඳ කිසිවෙකුගේ ආරාධනයක් නොමැතිව උදාවන්නා සේ ආරාධනාවක් නොමැතිවම දායකයන් කරා පැමිණිය යුතුය. සූර්‍යයා සියලු ජලය වියළන්නා සේ සියලු කෙලෙස් තුනී කළ යුතුය. සූර්‍යයා ගනඳුර දුරුකරන්නාසේ රාග, ද්වේෂ, මාන, වැරදි දැකීම් යන සියලු අන්ධකාර දුරු කළ යුතුය. සූර්‍යයා නිරන්තරයෙන් හැසිරෙන්නා සේ නිතර සතියෙන් සිටිය යුතුය. ශක්‍ර සම්පත්තියෙහි සිත් අලවා වාසය කරන සක්දෙවිඳුට කලකිරීමක් ඇති නොවන්නාසේ වනපෙත්, රුක් මුල්, සෙනසුන් කෙරෙහි සිත කලකිරවා නොගත යුතුය. සක්විති රජු දානය, ප්‍රියවචනය, අර්ථචර්‍යාව, සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් ජනතාවගේ සිත් ගන්නා සේ ධර්මානුශාසනා කිරීමෙන් භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසගේ සිත් ගත යුතුය. සක්විති රජෙකුගේ විජිතයෙහි සොරු ඇති නොවන්නා සේ තම සිතෙහි කාම ව්‍යාපාද විහිංසා සිතුවිලි ඇති වීමට ඉඩ නොදිය යුතුය. සක්විති රජු තමාගේ වැසියන්ගේ හොඳ, නරක ක්‍රියා ගැන විමසිල්ලෙන් සිටින්නාසේ තමාගේ කයින්, වචනයෙන්, සිතින් වන ක්‍රියා ගැන විමසිල්ලෙන් සිටිය යුතුය. සක්විති රජුගේ විජිතයෙහි මනා ලෙස ආරක්ෂාව ඇත්තා සේ කෙලෙසුන්ට ළංවිය නොහැකි පරදි ආරක්ෂාව පිණිස සතිය නැමැති දොරටුපාලයා තැබිය යුතුය. සතිය දොරටුපාලයා කර ඇති භික්ෂුව අකුසල් දුරු කරයි. කුසල් වඩයි. බළලා කොහේ ගියත් ආහාරයට මීයෙකුම සොයන්නා සේ කොහේ ගියත් කොහේ සිටියත් කායානුපස්සනාවම මෙනෙහි කළ යුතුය. ගෝනුස්සා තමාගේ වලිගයම ආයුධයක් කර ගෙන හැසිරෙන්නා සේ ප්‍රඥාවම ආයුධයක් කර ගෙන හැසිරිය යුතුය. මුගටියා නයින් සමග සටන් කිරීමට පෙර විෂ සහිත බෙහෙතක් ශරීර ගත කරගෙන පැමිණෙන්නාක් මෙන් මෛත්‍රි බෙහෙත සිත ගල්වා ගෙන ක්‍රෝධ බහුල, කලහ බහුල ලෝකය කරා පැමිණිය යුතුය. මහලු සිවලා භෝජනයක් ලැබුණු විට පිළිකුලක් නොමැතිව අනුභව කරන්නා සේ, පිණ්ඩපාත භෝජනයක් ලැබුණු විට පිළිකුලක් නොමැතිව අනුභව කළ යුතුය. මහා කාශ්‍යප තෙරණුවෝ මෙසේ වදාළහ. “මම දිනක් අලුයම නැගිට කළයුතු වතාවත් කර පා සිවුරු ගෙන පිඬු පිණිස ගමකට ගියෙමි. එවිට ඒ ගමෙහි සියලු දෙනා විසින් පිළිකුල් කරන ලද දරුණු කුෂ්ඨ රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු ආහාර අනුභව කරනු දුටුවෙමි. ඔහුට පින් පිණිස ඔහු කරා ගොස් පෙනෙන සේ ළඟ සිටියෙමි. ඔහු මා දැක ප්‍රසන්නව අනෙක් පිදිය යුතු දානයන් නැති හෙයින් අනුභව කරමින් සිටි බතින් කොටසක් කුණුවී ගිය අතින් ගෙන මාගේ පාත්‍රයට පිරිනැමීය. ඒ බත් පාත්‍රයට දමද්දී ඔහුගේ කුණුවූ අතේ ඇඟිල්ලක් කැඩී පාත්‍රයට වැටුණි. මම ඔහුට අනුකම්පාවෙන් ඔහුට යහපත සාදනු පිණිස එම භෝජනය ගෙන ගොස් නුදුරු තැනක හිඳ ඇඟිලි කඩ ඉවත දමා වැළඳීමි. එය වළඳන කලද, වැළදූ පසුද ශරීරයේ ස්වාභාවය මෙනෙහි කරන්නාවූ, දන්නාවූ මට පිළිකුලක් ඇති නොවුණි” යනුවෙනි. මහලු සිවලා භෝජනයක් ලැබුණු විට එය කටුකද ප්‍රණීතද කියා නොසොයන්නාක් මෙන්‍ යෝගාවචරයා පිණ්ඩපාතයක් ලැබුණු විට එය කටුකද ප්‍රණීතද යයි නොවිමසා ලද දෙයින් සතුටු විය යුතුය. රසෙහි ගිජුවූ අයගේ සිත ධ්‍යානයෙහි නොඇලෙයි. ලද දෙයින් සතුටු වන භික්ෂුව ශ්‍රමණ ගුණය සම්පූර්ණ කරයි.

 

යෝගි කථා ප්‍රශ්නය 4

මුවා ආයුධයක් හෝ සැරයක් තමාගේ කයට ළංව එන විට පලා යන්නා සේ, ශරීරයට වැදීමට ඉඩ නොදෙන්නා සේ, කෙලෙස් ළංව එන විට පලා යා යුතුය. සිතට නොගත යුතුය. මුවා මිනිසුන් දුටු විට ඔවුන්ට නොපෙනේවා යයි සිතා පලා යන්නා සේ, අසත්පුරුෂයන් දුටු විට ඔවුන්ගෙන් දුරු විය යුතුය. ඌරා පායන කාලය පැමිණ විට ජලය කරා පැමිණෙන්නාක් මෙන් ද්වේෂයෙන් සිත රත් වූ විට සීතල වූ ප්‍රණීත වූ මෛත්‍රි භාවනාව කළ යුතුය. හස්තිරාජයා සිහියෙන් යුතුව පය තබන්නාසේ, ඔසවන්නා සේ, භික්ෂුන් සිහි නුවණින් යුතුව ඉදිරියට යාම, ආපසු ඒම, අතපය දික්කිරීම, හකුළුවාලීම ආදී සියලු කටයුතුවල යෙදිය යුතුය. කේශර සිංහයාගේ සියලු ශරීරය පිරිසිදුව පවත්නා සේ යෝගාවචරයාගේ සිත මාර්ගඵලවලට පැමිණීමෙන් අතිශයින් පිරිසිදු විය යුතුය. සිංහයාට පාද සතරක් ඇත්තාසේ ඡන්ද, වීර්‍ය, චිත්ත, විමංසා යන සතර ඍද්ධිපාදවලින් සමන්විත විය යුතුය. සිංහරාජයා තම ජීවිතය නැති වූවත් කිසිවෙකුට යටත් නොවන්නා සේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිවුපසය සඳහා කිසිවෙකුට යටත් නොවිය යුතුය. සිංහරාජයා පළමුව ලැබූ දඩයමම අනුභව කරන්නා සේ, පළමුව ලද දෙයින්ම සතුටු විය යුතුය. මිහිරි ආහාරපාන ලැබෙන තැන් ගැන නොසෙවිය යුතුය. සිංහයා ආහාරයක් නොලැබුණත් නොතැවෙයි. ආහාරයක් ලැබුණත් එය ගිජුකමින් තොරව අනුභව කරයි. එසේම යෝගාවචරයාද ආහාරයක් නොලැබුණත් නොතැවිය යුතුය. ලැබුණු ආහාරය ප්‍රත්‍යවේක්ෂාකර (කල්පනා කර) වැළඳිය යුතුය. සක්වාලිහිණියා දිවි ඇති තෙක් තම අඹුවගෙන් වෙන් නොවන්නා සේ දිවි ඇති තෙක් සතිය අත් නොහැරිය යුතුය. සක්වාලිහිණියා දිය සෙවෙල් අනුභව කරයි. එයින් සතුටු වෙයි. බලයෙන්ද වර්ණයෙන්ද නොපිරිහෙයි. එලෙසම යෝගාවචරයාද ලද දෙයින් සතුටු විය යුතුය. එසේ සතුටු වන්නාවූ ඔහුගේ සීලය නොපිරිහෙයි. සම්පත් නොපිරිහෙයි. ප්‍රඥාව නොපිරිහෙයි. සක්වාලිහිණියා සත්ව හිංසාව නොකරන්නා සේ සියලු සත්වයින් කෙරෙහි මෛත්‍රියෙන් අනුකම්පාවෙන් යුක්ත විය යුතුය. පරෙවියා නිවසක කූඩුවක් සාදා ගෙන සිටියත් එම නිවැසියන්ගේ කිසි දෙයකට ආශා නොකරන්නා සේ දායකයන්ගේ නිවෙස්වලට ගිය විට ඔවුන්ගේ සම්පත්වලට ආශා නොකළ යුතුය. කෑරලා තමාගේ ශබ්දයෙන් හඬා අනුන්‍ට වන සැපතක් හෝ දුකක් කියන්නා සේ, අන් අයට නිරයෙහි දුක හා නිවනෙහි මහත්වූ සැප කියා දිය යුතුය. වවුලා නිවසකට පැමිණියත් එහි නොරැඳෙන්නා සේ, පිඬු පිණිස හැසිරී වහා ගමින් නික්මිය යුතුය. දායකයන්ට හිරිහැරයක් නොවිය යුතුය. කූඩැල්ලා තැනක එල්ලුණ විට එහි දැඩිව එල්ලී ලේ බොන්නා සේ කුසල් අරමුණක ඇලුණ කල එහි දැඩිව එල්ලී අර්හත්ඵල නැමැති අමෘත රසය පානය කළ යුතුය. සර්පයා මිනිසුන් දුටුවිට බියවන්නා සේ, ගැලවී යාමට සිතන්නා සේ, සසර බිය දැක සසරින් ගැලවී යාමට උත්සාහ කළ යුතුය. දිගු උදරයක් ඇති පිඹුරා බඩ පුරා ආහාරයක් නොලබන්නා සේ, මඳ ආහාරයකින් යැපෙන්නා සේ පමණ දැන ආහාර වළඳා ඉතිරි අඩුවට පැන් පානය කර ප්‍රතිපත්ති පිරිය යුතුය. මකුළුවා දැලක් බැඳගෙන සැඟවී සිට එහි රැඳෙන කෘමීන් වහා අල්වා ගෙන අනුභව කරන්නා සේ සතර සතිපට්ඨාන නැමැති දැල බැඳගෙන සැඟවී සිට කෙලෙස් එහි ඇලෙන විටම විනාශ කළ යුතුය. කිරි බොන ළදරුවා කිරි පිණිසම හඬන්නා සේ, මව කෙරෙහිම ඇලුණා සේ රහත් ඵලයෙහිම ඇලිය යුතුය. උත්සාහ කළ යුතුය. මහවනය අපරාධකරුවන් සඟවා ගන්නා සේ, රකින්නා සේ අනුන්ගේ දොස් නොකිව යුතුය. මහවනය ජනයාගෙන් හිස් වූවා සේ සිත රාග, ද්වේෂ, මෝහ, මාන, වැරදි දැකීම්වලින් හිස් විය යුතුය. වෘක්ෂය තමා ළඟට පැමිණි අයට සෙවණ දෙන්නා සේ තමා ළඟට පැමිණි අයට ධර්මයෙන් සංග්‍රහ කළ යුතුය. වෘක්ෂය තම ඡායව වෙනස් නොකරන්නා සේ සියලු දෙනා කෙරෙහි සම මෙත් සිත පැතිර විය යුතුය. බුදුපියාණෝ දෙව්දතුන්ටද, නාලාගිරි ඇතුටද, අංගුලිමාලටද, රාහුල කුමරුටද එකම මෙත් සිත පැතිර වූ සේක. වර්ෂාව දූවිලි නැති කරන්නා සේ උපන් කෙලෙස් දූවිලි නැති කළ යුතුය. වර්ෂාව ගංඟා, ඇළ දොළ, වැව්, පොකුණු පුරවන්නාක් මෙන් මිනිසුන්ගේ සිත් සද්ධර්මයෙන් පිරවිය යුතුය. මැණික අතිපිරිසිදු වන්නා සේ සීලයෙන් අති පිරිසිදු විය යුතුය. මැණික කිසිවක් සමඟ මිශ්‍ර නොවන්නාක් මෙන් පාපයන් හා පාප මිත්‍රයන් සමඟ මිශ්‍ර නොවිය යුතුය. මැණික රන් සමඟ යොදන්නාක් මෙන් මඟඵල පැමිණි උතුමන් සමඟ වාසය කළ යුතුය. මුව වැද්දා අල්ප නිද්‍රා ඇත්තෙක් වන්නා සේ අල්ප නිද්‍රා (අඩු නින්ද) ඇත්තෙක් විය යුතුය. මුව වැද්දාගේ සිත මුවන් ඇල්ලීම කෙරෙහිම පවතින්නා සේ සිත කුසල් අරමුණුවලම පැවතිය යුතුය. මුව වැද්දා මුවන් ඇල්ලිය යුතු වෙලාව දන්නා සේ යෝගාවචරයා භාවනා කළ යුතු විවේක ගත යුතු කාලය දැන ගත යුතුය. මුව වැද්දා මුවන් දැක ඔවුන් අල්ලා ගනිමියි සතුටුවන්නා සේ සමාධි ධ්‍යාන දැක මතු මඟඵලවලට පැමිණෙමියි සතුටු විය යුතුය. මසුන් මරන්නා බිලි කටුවෙන් මසුන් අල්ලන්නා සේ ප්‍රඥාවෙන් සතරමග සතරඵලයන් කෙලෙස් මුහුදෙන් ගොඩ නඟා ඇදිය යුතුය. මසුන් මරන්නා කුඩා සතෙකු බිලියෙහි අමුණා ලොකු මසුන් අල්ලන්නා සේ ස්වල්ප වූ ලෞකික සැප අත් හැර මහත් වූ නිවන් සැප ලබාගත යුතුය. පිරුණු කළය නොසැලෙන්නා සේ, ශබ්ද නොකරන්නා සේ මාර්ගඵලවලට පැමිණ උඩඟු නොවිය යුතුය. සරුකෙත ගොවියාට සතුට ගෙන දෙන්නාක් මෙන් දායකයන්ට මහත්ඵල ගෙන දෙන පින් කෙතක් විය යුතුය. බෙහෙත සියලු විෂ නසන්නාසේ රාග, ද්වේෂ, මෝහ, මාන, වැරදි දැකීම් යන සියලු කෙලෙස් නැසිය යුතුය. භෝජනය සියලු සත්වයන් විසින් මනාව ප්‍රාර්ථනා කරන්නා සේ සියලු ලෝකවාසීන් විසින් ප්‍රාර්ථනා කිරීමෙන් යුක්ත විය යුතුය. දුනුවායා උදය සවස දුනු ශිල්පය පුරුදු කරන්නා සේ උදය සවස භාවනා වැඩිය යුතුය. ත්‍රිලක්ෂණය මෙනෙහි කළ යුතුය.

 

78.

මිලිඳු රජු - ස්වාමීනි, සීලය කවර ලක්ෂණ ඇත්තක්ද?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, සීලයෙහි පිහිටන ලක්ෂණ ඇත. සියලුම කුසල ධර්මයන්ට සීලය උපකාරී වෙයි. සීලයෙහි පිහිටි අයගේ සියලුම කුසල ධර්මයෝ නොපිරිහෙයි.

මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කර දෙනු මැනවි.

නාගසේන තෙරණුවෝ - මහරජ, නුවරක් සාදනු කැමති පුද්ගලයා පළමුව එම ස්ථානය පිරිසිදු කර භූමිය සමකරවා යහපත් නුවරක් මවයි. එලෙසම යෝගාවචරයා (භාවනානුයෝගියා) සීලයෙහි පිහිටා ශ්‍රද්ධාව, වීර්‍යය, සතිය, සමාධිය සහ ප්‍රඥාව වඩයි. බුදුපියාණෝ නුවණැති පුද්ගලයා සීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව වැඩීමෙන් නිවනට ළඟාවන බව වදාළහ.
මිලිඳු රජු - ස්වාමීනි, ශ්‍රද්ධාව කවර ලක්ෂණ ඇත්තක්ද?

නාගසේන තෙරණුවෝ - මහරජ, ශ්‍රද්ධාවෙහි සිත පහදවන ස්වාභාවය ඇත. එය පංචනීවරණ යටපත් කරයි.

මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කර දෙනු මැනවි.

නාගසේන තෙරණුවෝ - මහරජ, උදකප්‍රසාදක (දිය පහදවන) මැණික බොර ජලයෙහි එබූ විට එහි ඇති දිය සෙවෙල්, මඩ සිඳීගොස් ජලය පිරිසිදු වෙයි. නිර්මල වෙයි. එලෙසම ශ්‍රද්ධාව ඇති විට නිවන් මග අවුරණ පංච නීවරණ යටපත් වෙයි. සිත පිරිසිදු වෙයි. එසේම ශ්‍රද්ධාව ඇති තැනැත්තා තමන් නොපැමිණි සෝවාන් සකෘදාගාමී අනාගාමි ආදි මාර්ගඵලයන්ට පැමිණිමට උත්සාහ කරයි. ශ්‍රද්ධාව ඇති තැනැත්තා බියකරු සසර සයුර තරණය කරන බව බුදුපියාණෝ වදාළහ.

මිලිඳු රජු - ස්වාමීනි, වීර්‍යය කවර ලක්ෂණ ඇත්තක්ද?

නාගසේන තෙරණුවෝ - මහරජ, වීර්‍යය පිහිටවන ස්වාභාවය ඇත්තකි.

මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කර දෙනු මැනවි.

නාගසේන තෙරණුවෝ - මහරජ, ගෙයක් එක් අතකට නැවී වැටෙන කල අනෙක් කරුවකින් ආධාර කළ විට එය නොවැටෙයි. එසේම වීර්‍යය ඇති විට සියලු කුසල ධර්මයෝ නොපිරිහෙයි. නොවැටෙයි. ඔහු අකුසල ධර්මයන් දුරු කරයි. කුසල ධර්මයන් වඩයි. කෙලෙසුන් කෙරෙන් පිරිසිදු වෙයි.

මිලිඳු රජු - ස්වාමීනි, සිහිය කවර ලක්ෂණ ඇත්තක්ද?

නාගසේන තෙරණුවෝ - මහරජ, සිහිය (සතිය හෙවත් නිවැරදි සිහිය) කුසල ධර්මයන් සිහිපත් කරවන ස්වාභාවය ඇත්තකි. සිහිය ඇති තැනැත්තා ඇසුරු කළ යුතු ධර්මයන් ඇසුරු කරයි. ඇසුරු නොකළ යුතු ධර්මයන් ඇසුරු නොකරයි.

මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කරදෙනු මැනවි.

නාගසේන තෙරණුවෝ - මහරජ, සක්විති රජුගේ පිරිසට අධිපතියා “මොවුන් රජුට හිතවත්ය. මොවුන් රජුට විරුද්ධය” යයි රජුට හිතවත් අහිතවත් අය දනියි. ඔහු අහිතයන් දුරු කරයි. හිතවතුන් සමීපයට ගනියි. එලෙසම සිහිය ඇසුරු කළ යුතු ධර්මයන් සහ ඇසුරු නොකළ යුතු ධර්මයන් සොයයි. ඇසුරු කළ යුතු ධර්මයන් ඇසුරු කරයි. ඇසුරු නොකළ යුතු ධර්මයන් දුරු කරයි.

මිලිඳු රජු - ස්වාමීනි, සමාධිය කවර ලක්ෂණ ඇත්තක්ද?

නාගසේන තෙරණුවෝ - මහරජ, සමාධිය ප්‍රමුඛ ලක්ෂණ ඇත්තකි. සියලු කුසල ධර්මයෝ සමාධිය ප්‍රමුඛ කර ඇත. සමාධියට නැමී සිටියි.

මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කර දෙනු මැනවි.

නාගසේන තෙරණුවෝ - මහරජ, වහලක සියලු පරාල මුදුන් ලීයට සම්බන්ධ වී ඇත්තාක් මෙනි. ඇත් අස් රිය පාබල යන සිවු සෙනඟ රජු ප්‍රධාන කොට රජුට යටත්ව ඇත්තාක් මෙනි. බුදුපියාණෝ “මහණෙනි, සමාධිය වඩන්න. සමාධියෙන් සැනසුණ පුද්ගලයා ලොව යථා තත්ත්වය මනාව දැනගනියි” යයි වදාළහ.

මිලිඳු රජු - ස්වාමීනි, ප්‍රඥාව කවර ලක්ෂණ ඇත්තක්ද?

නාගසේන තෙරණුවෝ - මහරජ, ප්‍රඥාව බැබළීම් සහ කෙලෙස් සිඳින ලක්ෂණ ඇත. ප්‍රඥාව පහළ වූ විට අවිද්‍යා අන්ධකාරය (නොදැනීම) දුරු වෙයි. ඤාණාලෝකය (නුවණ නැමැති ආලෝකය) පහළ වෙයි. සියල්ල වහවහා වෙනස් වන බව, දුක් ගෙන දෙන බව, අපගේ වසඟයෙහි නොපවතින බව (අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය) වැටහෙයි. දුක, දුකට හේතුව, නිවන, නිවනට මග පැහැදිලි වෙයි.

මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කරනු මැනවි.

නාගසේන තෙරණුවෝ - මහරජ, ගනඳුරෙහි ඇති ගෙයක පහනක් දැල්වූ විට අන්ධකාරය දුරුවී ආලෝකය පහළවන්නාක් මෙනි. නොයෙක් ආකාරවූ රූපයන් දකින්නාක් මෙනි.

මිලිඳු රජු - ස්වාමීනි, ශ්‍රද්ධාව වීර්‍යය සතිය සමාධිය ප්‍රඥාව යන කුසල ධර්මයෝ එකම අර්ථයක් සිදුකරයිද?

නාගසේන තෙරණුවෝ - එසේය මහරජ, ශ්‍රද්ධාව වීර්‍යය සතිය සමාධිය ප්‍රඥාව යන කුසල ධර්මයෝ එකම අර්ථයක් සිදු කරයි. එනම් සියලු කෙලෙසුන් නසයි.

මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කර දෙනු මැනවි.

නාගසේන තෙරණුවෝ - මහරජ, ඇත් අස් රිය පාබල යන සිවු සෙනඟ යුද පිටියකදී එකම අර්ථයක් සිදු කරති. එනම් සතුරන් පරදවා ජය ගනිති. එලෙසම මේ කුසල ධර්මයෝත් එකම අර්ථයක් සිදු කරයි. සියලු කෙලෙස් විනාශ කරයි.

 

79.

මිලිඳු රජු - ස්වාමීනි, මවුකුසින් බිහිවන සත්ත්වයා මිය යන තෙක්ම ඔහුම වේද? නැතහොත් වෙනත් ආකාරයක කෙනෙක් වේද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, ඔහුත් නොවෙයි. අන් අයෙකුත් නොවෙයි. පෙර ඔබ කුඩා ළදරුවෙක්ව සිටියේය. අද ඔබ උස් මහත් වූ කෙනෙකි. එහෙත් ළදරුව සිටියේත් ඔබමය. උස් මහත් වී සිටින්නේත් ඔබමය. මෙසේ ළදරුවෙක් උපදියි. උස් මහත් වූ කෙනෙක් මියයයි. එහෙත් එකම පුද්ගලයෙක් සේ සිතට වැටහෙයි.

මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කර දෙනු මැනවි.

නාගසේන තෙරණුවෝ - මහරජ, රාත්‍රිය පුරා පහනක් දැල්වෙයි. එහි මුලදී ගිනිදලුව එකකි. මධ්‍යම රාත්‍රියෙහි ගිනි දලුව තවත් එකකි. අලුයම කාලයෙහි දැල්වෙන්නේ වෙනත් ගිනි දලුවකි. මොහොතින් මොහොත ගිනි දලුව වෙනස් වෙයි. එහෙත් එකම ගිනිදලුව සේ සිතට වැටහෙයි. දොවන ලද කිරි දවසක් ගතවු කල දීකිරි වෙයි. දීකිරි වෙඩරු වෙයි. මෙසේ කෙනෙක් උපදියි. අන්කෙනෙක් මිය යයි.

 

80.

මිලිඳු රජු - ස්වාමීනි, යමෙක් නැවත නොඋපදියි නම් ඔහු ඒ බව දන්නේද? එසේ දැන ගන්නේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, යමෙක් නැවත නොඋපදියි නම් ඔහු ඒ බව දනියි. නැවත පිළිසිඳ ගැනීමට යම් හේතුවක් ඇද්ද, එම හේතුව නැති කිරීම නිසා නැවත නූපදින බව දනියි.

මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කර දෙනු මැනවි.

නාගසේන තෙරණුවෝ - මහරජ, ගොවිතැනින් දිවි රැකගන්නා කෙනෙක් ගොවිතැන් කිරීම නවත්වයි. ඔහු ඉදිරියේදී තමාගේ අටුව සහලින් නොපිරෙන බවද දනියි. ඒ අටුව සහලින් පිරීමට අවශ්‍ය කටයුතු ඔහු නොකරන නිසාය. මෙසේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමුණුවල නැවත නැවත ඇලෙන්නා වූ නන්දිරාගය නිසා නැවත උපත සිදුවෙයි. නන්දිරාගය නැතිකළ විට නිවන ලැබෙයි.

 

81.

මිලිඳු රජු - ස්වාමීනි, යමෙක් නැවත නුපදීනම් (රහත් වූයේ නම්) ඔහු කිසියම් දුක් වේදනාවක් විඳියිද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, ඔහු කායික වේදනා විඳියි. සිතින් වේදනා නොවිඳියි. කායික දුක් වේදනා හටගන්නා හේතු නොනැසූ බැවින් කායික වේදනා විඳියි. එනම් කය පෙර කර්මයෙන් ලැබුණු දෙයකි. සිතෙහි දුක් වේදනා හටගන්නා හේතූන් හෙවත් රාග ද්වේෂ මෝහ නැසූ බැවින් සිතින් දුක් වේදනා නොවිඳියි.

මිලිඳු රජු - ස්වාමීනි, රහතන් වහන්සේලා මෙසේ කායික දුක් වේදනා විඳී නම් පිරිනිවන් නොපාන්නේ මන්ද?

නාගසේන තෙරණුවෝ - මහරජ, කායික වේදනා වින්දත් රහතන් වහන්සේලා තම ආයුෂ ගෙවෙන තුරු පිරිනිවන් නොපාති. උන්වහන්සේලාට කිසිවක් හෝ කිසිවෙකු කෙරෙහි ඇල්මක් හෝ ගැටීමක් නොමැත. නුවණින් අග තැන්පත් උන්වහන්සේලා තම ජීවිතය නැති කර නොගනිති. ආයුෂයම කැමැති වෙති. සැරියුත් තෙරුන් “වැටුපක් නොලැබ අනුන්ගේ වැඩ කරන මෙහෙකරුවෙකු මෙන් මා මරණයටත් සතුටු නොවෙමි. ජීවත්ව ඉඳීමටත් සතුටු නොවෙමි. ආයුෂ කාලයම කැමති වෙමි” යයි පැවසුවේ එබැවිනි.

 

82.

මිලිඳු රජු - ස්වාමීනි, උත්පත්ති වශයෙන් කවරෙක් පිළිසිඳ ගන්නේද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, උත්පත්ති වශයෙන් නාමරූප දෙක පිළිසිඳ ගනියි. මේ සිතත් කයත් දෙකම මතු නොඋපදියි. සිත හා කය කරණ කොට කරන ලද යහපත් හෝ අයහපත් කර්ම නිසා අනෙක් නාම රූපයක් පිළිසිඳ ගනියි.

මිලිඳු රජු - ස්වාමීනි, මේ සිතත් කයත් දෙකම අනෙක් තැනෙක නොඋපදින නිසා ඔහු කළ පව්වලින් ගැලවෙන්නේද?

නාගසේන තෙරණුවෝ - මහරජ, ඔහු රහත් වූයේ නම් ඔහු කළ පාප කර්මයන්ගෙන් මිදෙයි. නැවත උපදියි නම් පාප කර්මයන්ගෙන් නොමිදෙයි.

මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කර දෙනු මැනවි.

නාගසේන තෙරණුවෝ - යම් කෙනෙක් අනෙක් කෙනෙකුගේ අඹ සොරා ගනියි. එකල අඹ හිමිකරුවා අඹ සොරා අල්වා රජුට ඉදිරිපත් කරයි. සොරා “ස්වාමීනි, මම මොහුගේ අඹ සොරකම් නොකළෙමි. මොහු රෝපණය කළේ වෙනත් අඹයකි. මා විසින් ගත්තේ වෙනත් අඹය” යයි පැවසුවොත් ඔහුට දඬුවමින් මිදිය හැකිද?

මිලිඳු රජු - නොහැකිය ස්වාමීනි.

නාගසේන තෙරණුවෝ - එලෙසම මහරජ, මේ නාම රූප හේතු කර ගෙන යහපත් හෝ අයහපත් කර්මයක් කරයිද ඒ හේතුවෙන් අනෙක් නාම රූපයක් පිළිසිඳ ගනියි. එහෙයින් පාප කර්මයෙන් නොමිදෙයි.

මිලිඳු රජු - ස්වාමීනි, රූපය කුමක්ද? නාමය කුමක්ද? මේවා එකටම උපදින්නේ ඇයි?

නාගසේන තෙරණුවෝ - මහරජ, එකසේ පැවැත්මක් නැතු ධාතු සමුහය (ආපෝ තේජෝ වායෝ පඨවි) රූපයයි. සිත සහ සිතුවිලි නාමයයි. නාමරූපයෝ මලුත් සුවඳත් මෙන් ඔවුනොවුන් ඇසුරු කර පවතියි. උපදින විට එකටම උපදියි. මෙය දිගු කාලයක සිට පුරුදු වූවකි.

 

83.

මිලිඳු රජු - ස්වාමීනි, අතීත අනාගත වර්තමාන කාල ඇතිවීමට (සංසාරයේ දිගින් දිගට ගමන් කිරීමට) හේතුව කුමක්ද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, චතුරාර්‍ය සත්‍යය අවබෝධ කිරීමට ඉඩ නොදෙන අවිද්‍යාව හෙවත් මුලාව මූලික හේතුවයි. (මුළාව නුවණැස නැති කර සත්වයා අන්ධ කරයි.ඔහුට ධර්මය අධර්මය සේ පෙනෙයි. අධර්මය ධර්මය සේ පෙනෙයි) මුළාව නිසා සත්වයා සංස්කාර හෙවත් පින් පව් රැස් කරයි. පින් පව් නිසා විඥානයත්, විඥානය නිසා නාම රූපත්, නාමරූප නිසා ඇස කන නාසය දිව ශරීරය සිත යන සළායතනයෝත් (ආයතන හය) පහළ වෙයි. සළායතන නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ මනෝ අරමුණු යන ස්පර්ශයෝ පහළ වෙයි. ස්පර්ශය නිසා සැප දුක් මැදහත් යන ත්‍රිවිධ වේදනාවෝ පහළ වෙයි. වේදනාව නිසා තණ්හාවත්, තණ්හාව නිසා උපාදානයත් ඇතිවෙයි. උපාදානය හෙවත් රූප ශබ්ද ආදී අරමුණුවලට මම මාගේ වශයෙන් දැඩිව බැඳී යාම නිසා භවය වෙයි. භවය හේතු කරගෙන ඉපදීම වෙයි. ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ආදි දුක් පහළ වෙයි.

මිලිඳු රජු - ස්වාමීනි, සංසාරයේ කෙළවරක් දැකිය හැකිද?

නාගසේන තෙරණුවෝ - මහරජ, සංසාරයේ කෙළවරක් නොපෙනෙයි.

මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කර දෙනු මැනවි.

නාගසේන තෙරණුවෝ - මහරජ, යම් කෙනෙක් කුඩා බීජයක් පොළොවෙහි රෝපණය කරයි. එම බීජය ක්‍රමයෙන් මහ ගසක් බවට පත්ව ගෙඩි හට ගනියි. එම ගෙඩිවලින් නැවත් නැවතත් පැළ හට ගනියි. කෙළවරක් නොපෙනෙයි. එලෙසම කිකිළි බිත්තරයකින් කිකිළි පැටවෙක් හට ගනියි. ඒ පැටවා වැඩී නැවත බිත්තර දමයි. කෙළවරක් නොපෙනෙයි.

 

84.

මිලිඳු රජු - ස්වාමීනි, හේතුඵල වශයෙන් සිදුවන දෙයක් ඇද්ද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, හේතුඵල ධර්මයක් ඇත. ඇස සහ රූපය ඇති කල චක්ඛු විඥානය වෙයි. චක්ඛු විඥානය ඇති විට චක්ඛු ස්පර්ශය වෙයි. චක්ඛු ස්පර්ශය ඇති විට වේදනාව ඇති වෙයි. වේදනාව ඇති විට තණ්හාව වෙයි. තණ්හාව ඇති විට තදින් බැඳී යාම (උපාදානය) ඇති වෙයි. උපාදානය ඇති කල භවය වෙයි. භවය ඇති විට ඉපදීම වෙයි. ඉපදීම ඇති විට ජරා මරණ දුක් දොම්නස් ආදී දුක් රැස ඇති වෙයි. ඇස සහ රූපය නැති කල චක්ඛු විඥානය නොවෙයි. එවිට චක්ඛු ස්පර්ශය නොවෙයි. චක්ඛු ස්පර්ශය නැති විට වේදනාව නොවෙයි. වේදනාව නැති විට තණ්හාව සහ උපාදානය නොවෙයි. උපාදානය නැති විට භවය නොවෙයි. භවය නැති විට ජාතිය හෙවත් ඉපදීම නොවෙයි. ඉපදීම නැති විට ජරා මරණ දුක් දොම්නස් ආදී දුක්වලින් නිදහස් වෙයි.

මිලිඳු රජු - ස්වාමීනි, හේතුඵල වශයෙන් සිදු නොවන දෙයකුත් ඇද්ද?

නාගසේන තෙරණුවෝ - මහරජ, සියල්ල සිදුවනුයේ හේතුඵල වශයෙනි. යම්සේ ගිනි ගාන යට ලීය ඇත්නම්, උඩ ලීය ඇත්නම්, රෙදි කැබැල්ලකුත් ඇත්නම්, කෙනෙකුගේ උත්සාහයත් ඇත්නම් ගින්දර ඇති වෙයි. ගිනි ගාන ලී දෙක නැත්නම්, රෙදි කැබැල්ල නැත්නම්, කෙනෙකුගේ උත්සාහයත් නැත්නම් ගින්දර ඇති නොවෙයි.

මිලිඳු රජු - ස්වාමීනි, තවත් උපමාවකින් පැහැදිලි කර දෙනු මැනවි.

නාගසේන තෙරණුවෝ - මහරජ, කන්නාඩියක් ඇත්නම්, ආලෝකයත් ඇත්නම්, මුහුණත් ඇත්නම් ඡායව පහළ වෙයි. කන්නාඩිය නැත්නම් ආලෝකයත් නැත්නම් මුහුණත් නැත්නම් ඡායව පහළ නොවෙයි.

 

 

85.

මිලිඳු රජු - ස්වාමීනි, ජීව කෙනෙක් (සත්වයෙක් පුද්ගලයෙක්) සිටීද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, ඔබ විමසන්නේ කෙබඳු සත්වයෙක් පුද්ගලයෙක් ගැනද?

මිලිඳු රජු - ස්වාමීනි, ශරීර අභ්‍යන්තරයේ යම් ප්‍රාණ ජීවියෙක් ඇසින් දකීද? කනින් අසාද? නාසයෙන් ගඳ සුවද දැන ගනීද? දිවෙන් රස විඳීද? කයින් ස්පර්ශ කරයිද? සිතින් සිතයිද?

නාගසේන තෙරණුවෝ - මහරජ, ප්‍රාණ ජීවියෙක් ඇත්නම් ඔහු ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, සිතෙන් ශබ්දය ඇසිය යුතුය. අභ්‍යන්තරයේ ජීවියෙක් ඇත්නම් දිවෙහි රසය තිබූ කල ඇතිවන ඇඹුල්, තිත්ත ලුණු පැණිරස ආදි රස කුස ඇතුළත ආහාරය ගිය පසුත් දැනිය යුතුය. එහෙත් එසේ සිදු නොවෙයි. යම් කිසි පුද්ගලයෙකුගේ කට හොඳින් වසා බැඳ මී පැණි ඔරුවක එබුවොත් ඔහුට මී පැණි රස නොදැනෙයි. එයට හේතුව කට වසා ඇති බැවිනි. මහරජ, ඇස හා රූපය නිසා චක්ඛු විඥානයත් ( රූපය දැන ගන්නා සිත ) කන හා ශබ්දය නිසා සෝත විඥානයත් (ශබ්දය දැනගන්නා සිත), නාසය හා ගඳ සුවඳ නිසා ඝාණ විඥානයත් (ගඳ සුවඳ දැන ගන්නා සිත), දිව හා රසය නිසා ජීව්හා විඥානයත් (රස දැනගන්නා සිත ), කය හා ස්පර්ශය නිසා කාය විඥානයත් (සිරුරේ ඇතිවන ස්පර්ශ දැනගන්නා සිත), මනස හා අරමුණු නිසා මනෝ විඥානයත් (චින්තන ශක්තිය) උපදියි. ඒ හැර ශරීර අභ්‍යන්තරයේ සිට රූප ආදිය බලන්නාවූ ජීව කෙනෙක් (සත්වයෙක් පුද්ගලයෙක්) නොමැත. මහරජ, චක්ඛු ප්‍රසාදය (ඇසෙහි කළු ඉංගිරියාව ) නැත්නම් දැකිය නොහැකිය. සෝත ප්‍රසාදය (කන ඇතුළත මුද්දක් වැනි කොටස) නැත්නම් ඇසිය නොහැකිය. ඝාණ ප්‍රාසාදය (නාසය ඇතුළත එළු කුරයක් බඳු) නැත්නම් ගඳ සුවඳ දැනගත නොහැකිය. ජීව්හා ප්‍රසාදය (දිවෙහි නෙලුම් මල් පෙත්තක අග වැනි) නැත්නම් රස විඳිය නොහැකිය. කාය ප්‍රසාදය නැත්නම් ස්පර්ශය දැනගත නොහැකිය.

 

86.

මිලිඳු රජු - ස්වාමීනි, ස්පර්ශය කවර ලක්ෂණ ඇත්තක්ද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, ස්පර්ශයෙහි ගැටෙන ලක්ෂණ ඇත. බැටළුවන් දෙදෙනෙක් පොර අල්ලන විට එක් බැටළුවෙක් ඇස සේ ගත යුතුය. දෙවෙනි බැටළුවා රූපය සේ ගත යුතුය. තාලම් පට දෙකක් එකට ගසන විට එක් තාලම් පටක් ඇස සේ ගත යුතුය. දෙවෙනි තාලම් පට රූපය සේ ගත යුතුය. ඔවුන්ගේ එක්වීම ස්පර්ශය සේ දත යුතුය.

මිලිඳු රජු - ස්වාමීනි, වේදනාව කවර ලක්ෂණ ඇත්තක්ද?

නාගසේන තෙරණුවෝ - මහරජ, වේදනාවෙහි විඳින, අනුභව කරන ලක්ෂණ ඇත. කිසියම් කෙනෙක් රජුට හිතවත්ව සේවය කරයි. රජු ඔහුට උසස් තනතුරක් දෙයි.එම තනතුර නිසා සැප විඳින ඔහු පෙර රජුට හිතවත්ව සේවය කළ නිසා මෙබඳු සැප වේදනා විඳිමියි සතුටු වෙයි. දෙව්ලොව උපන් කෙනෙක් පෙර භවයේදී කුසල් කිරීම නිසා මෙබඳු සැප වේදනා අනුභව කරමියි සිතා සතුටු වෙයි.

මිලිඳු රජු - ස්වාමීනි, සංඥාව කවර ලක්ෂණ ඇත්තක්ද?

නාගසේන තෙරණුවෝ - මහරජ, සංඥාවෙහි හැඳින ගන්නා ලක්ෂණ ඇත. එය සුදු පැහැයත් හඳුනයි. රතු පැහැයත් හඳුනයි. නිල් පැහැයත් හඳුනයි.

මිලිඳු රජු - ස්වාමීනි, චේතනා (සිතුවිලි) කවර ලක්ෂණ ඇත්තක්ද?

නාගසේන තෙරණුවෝ - මහරජ, සිතුවිලිවල සිතන ලක්ෂණද, මනා ලෙස කරන ලක්ෂණද ඇත. යම් කෙනෙක් සතුන් මැරීම ආදී පාප කර්ම සිතින් සිතා ඒ පාපයෙන් මරණින් මතු අපාගත වෙයි. ඔහුට උදව් කළ අයද අපාගත වෙති. තවත් කෙනෙක් දාන, සීල ආදි කුසල් සිතින් සිතා ඒ පිනින් මරණින් මතු සුගතියෙහි උපදිති. ඔහු ඇසුරු කළ අයද සුගතියෙහි උපදිති.

මිලිඳු රජු - ස්වාමීනි, විඥානය (සිත, සිතීමේ හැකියාව) කවර ලක්ෂණ ඇත්තක්ද?

නාගසේන තෙරණුවෝ - මහරජ, විඥානයෙහි දැන ගන්නා ලක්ෂණ ඇත.

මිලිඳු රජු - ස්වාමීනි, උපමාවකින් පැහැදිලි කර දෙනු මැනවි.

නාගසේන තෙරණුවෝ - මහරජ, සතරමංසන්ධියක සිටින පුද්ගලයෙක් නැගෙනහිර පැත්තෙන් එන පුද්ගලයාත් දකියි. බටහිර පැත්තෙන් එන පුද්ගලයාත් දකියි. දකුණු පැත්තෙන් එන පුද්ගලයාත් දකියි. උතුරු පැත්තෙන් එන පුද්ගලයාත් දකියි. එලෙසම ඇසින් රූපයක් දැක එය චක්ඛු විඥානයෙන් දැන ගනියි. කනින් ශබ්දයක් අසා එය සෝත විඥානයෙන් දැන ගනියි. නාසයෙන් ගඳ සුවඳ විඳ එය ඝාණ විඥානයෙන් දැන ගනියි. දිවෙන් රසයක් විඳ එය ජීව්හා විඥානයෙන් දැන ගනියි. ශරීරයෙන් යම් ස්පර්ශයක් කර එය කාය විඥානයෙන් දැන ගනියි. සිතින් මනෝ අරමුණක් දැන එය මනෝ විඥානයෙන් දැන ගනියි.

මිලිඳු රජු - ස්වාමීනි, විතර්කයෙහි සහ විචාරයෙහි කවර ලක්ෂණ ඇත්තේද?

නාගසේන තෙරණුවෝ - මහරජ, විතර්කයෙහි පිහිටන ලක්ෂණ ඇත. රූප ශබ්ද ආදී අරමුණු හඳුනා ගනියි. මී මැස්සකු මලෙහි වසන්නාක් මෙනි. විචාරයෙහි නැවත නැවත හැසිරෙණ ලක්ෂණ ඇත. මී මැස්සා මලෙහි රොන් ගන්නා සේ නැවත නැවත අරමුණෙහි හැසිරෙයි. අරමුණ මෙනෙහි කරයි.

 

87.

මිලිඳු රජු - ස්වාමීනි, ඇස කන නාසය දිව ශරීරය යන පසිඳුරන් එකම කර්මයකින් උපදින්නේද? නැතහොත් නොයෙක් කර්මයන්ගෙන් උපදින්නේද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, ඇස කන ආදී පසිඳුරන් ඔවුනොවුන්ගේ නොයෙක් කර්මයන්ගෙන් උපදියි. එකම කර්මයකින් නොඋපදියි. එකම කුඹුරක වී වර්ග පහක් වැපුරුවොත් ඒවායේ අස්වැන්නද විවිධ වන්නාක් මෙනි.  

 

88.

මිලිඳු රජු - ස්වාමීනි, කුමන කාරණයකින් සියලු මිනිසුන් එක සමාන නොවන්නේද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, ඔවුන් විසින් කරන ලද කුසල් අකුසල්වල විවිධත්වය අනුව මිනිස්සු එක සමාන නොවෙති. සමහරුන්ට අල්ප ආයුෂ ඇත. සමහරුන්ට දිගු ආයුෂ ඇත. සමහරු දුප්පත්ය. සමහරු ධනවත්‍ ය. සමහරුන්ට ආබාධ ඇත. සමහරු අල්පාබාධය. සමහරු වර්ණ සම්පන්නය. සමහරු දුර්වර්ණය. සමහරු අල්පේශාක්‍යය (මඳ පිරිවර ඇත). සමහරු මහේශාක්‍යය (බොහෝ පිරිවර ඇත). සමහරු හීන කුලවල උපදිති. සමහරු උසස් කුලවල උපදිති. සමහරුන්ට නුවණ මඳය. සමහරු ප්‍රඥාවන්තය. මහරජ, බුදුපියාණෝ සුභ නම් මාණවකයාට “සත්වයෝ කර්මය දායාද කර ඇත. කර්මයම නෑයන් කර ඇත. කර්මය නිසාම සත්වයෝ විවිධ වෙති” යයි වදාළහ

 

89.

මිලිඳු රජු - ස්වාමීනි, මෙලොව ගින්නට වඩා නිරයෙහි ගිනි මහත්බව, භයානක බව ඔබවහන්සේ පවසති. එසේනම් නිරිසත්වයෝ වර්ෂ දස දහස් ගණනක් නිරයෙහි පැසෙද්දීත් විනාශ නොවන්නේ මන්ද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, කිඹුල් ධේනුන් සහ මොනර ධේනුන් ගල් හා බොරළුගල් කති. ඔවුන්ගේ කුසෙහිදී ඒවා දිරවයි. එහෙත් ඔවුන්ගේ කුසෙහි දරු ගැබක් ඇත්නම් එය එලෙස විනාශ නොවෙයි. එයට හේතුව කර්මයයි. එලෙසම කර්මය බලවත් බැවින් වසර දස දහස් ගණනක් නිරා ගින්නෙන් දැවුනද නිරිසත්වයෝ විනාශයට පත් නොවෙති. මිය නොයති.

 

90.

මිලිඳු රජු - ස්වාමීනි, නිරෝධය නිවනද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, පෘථග්ජන සත්වයෝ මහත්වූ කෙලෙස් ඇති නිසාත් සසර පුරුද්ද නිසාත් ඇස කන නාසය දිව ශරීරය යන පසිඳුරන්ගෙන් ලබන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු කෙරෙහි සතුටු වෙති. එහි ගුණ කියති. එහිම බැස සිටිති. එයින් ඔවුහු සංසාර සාගරය කරා ගෙනයනු ලබති. ඒ අනුව ජාති ජරා මරණයන්ගෙන් නොමිදෙති. රූප ශබ්ද ආදියෙහි දොස් දක්නා ආර්‍ය ශ්‍රාවකයා ඒ මඟින් සතුටු නොවෙයි. එවිට ඔහුගේ තණ්හාව නිරුද්ධ (නැති) වෙයි. උපාදානය හෙවත් මම මාගේ වශයෙන් දැඩිව බැඳී යාම නිරුද්ධ වෙයි. එයින් භවය නැති වෙයි. දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ආදි ජාතිය නැති වෙයි. එයින් ජරා මරණ ආදි සංසාර දුක් නැති වෙයි. එයින් ජරා මරණ ආදි සංසාර දුක් නැතිවෙයි. මෙසේ සියලු සංස්කාරයන්ගේ (ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත යන ද්වාර හයේ ක්‍රියාකාරිත්වය) නිරෝධය හෙවත් නැති කිරීම නිවනය.

මිලිඳු රජු - ස්වාමීනි, සියලු දෙනා නිවන් දකිත්ද? නාගසේන තෙරණුවෝ - මහරජ, සියලු දෙනා නිවන් නොදකියි. එහෙත් යමෙක් මනා ලෙස පිළිපදිමින් දැන ගත යුතු ධර්මයන් (දුක) දැන ගනීද, දුරු කළ යුතු ධර්මයන් (දුකට හේතුව - තණ්හාව) දුරු කරයිද, භාවිත කළ යුතුවු මාර්ග සත්‍යය ( නිවනට මඟ - ආර්‍ය අෂ්ටාංගික මාර්ගය) භාවිත කරයිද, අවබෝධ කළ යුතු නිරෝධ සත්‍යය (නිවන) අවබෝධ කරයිද ඔහු නිවන ලබයි.

මිලිඳු රජු - ස්වාමීනි, නිවන නොලැබු කෙනෙක් නිවනෙහි සැප ඇති බව කෙසේ දැනගනීද?

නාගසේන තෙරණුවෝ - මහරජ, අපේ අත් පා නොකැපුවත් අත් පා කැපීම දුක් වේදනා ගෙන දෙන බව අපි දනිමු. ඒ අත් පා කපන ලද්දාවූ සෙසු සත්වයන්ගේ හැඬීම් හා විලාප ඇසීමෙනි. එසේම නිවන් දුටු අයගේ ප්‍රීති වාක්‍ය නිසා නිවන සැප ඇති බව දැනගත හැකිය.

 

91.

මිලිඳු රජු - ස්වාමීනි, මේ ආත්ම භාවය (නාම රූප දෙක) අන් තැනකට නොයන්නේ නම් අන් තැනක උපදින්නේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, යමෙක් පහනකින් පහනක් දල්වා ගනියි. ඒ ආලෝකය පළමු පහනින් නික්ම ආවක් නොවෙයි. ගුරුවරයෙකුගෙන් යමක් උගනියි. එය ගුරුවරයාගෙන් නික්ම ආවක් නොවෙයි. එපරිදිම මේ ආත්ම භාවය අන් තැනකට නොයයි. අන් තැනක උපදියි.

 

92.

මිලිඳු රජු - ස්වාමීනි, යමෙක් සිතින් හා කයින් කුසල් අකුසල් කරයි. ඒ කුසල් අකුසල් (කර්මය) කොතැන්හි පිහිටියේද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, යමෙක් විසින් කරන ලද කුසල් අකුසල් ඡායාව මෙන් ඔහු කැටුවම යයි. එහෙත් ගෙඩි හට නොගත් ගසක මේ මේ තැන ගෙඩි ඇතැයි දැක්විය නොහැකිසේ කුසල් අකුසල් මේ මේ තැන ඇතැයි දැක්විය නොහැකිය.

 

93.

මිලිඳු රජු - ස්වාමීනි, බුදුපියාණන් ඇත්තේද?

 

නාගසේන තෙරණුවෝ - එසේය මහරජ, බුදුපියාණන් ඇත.

මිලිඳු රජු - ස්වාමීනි, එසේනම් වැඩ සිටින තැනක් දැක්විය හැකිද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, බුදුපියාණන් අනුපාදිශේෂ වූ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ බැවින් බුදුපියාණන් මේ ස්ථානයේ වැඩ සිටී යයි දැක්විය නොහැකිය. එහෙත් ධර්මකාය හෙවත් දෙසු දහම කරන කොට බුදුපියාණන් ඇතැයි කිව හැකිය.

 

94.

මිලිඳු රජු - ස්වාමීනි, පැවිදි අයට ශරීරය ප්‍රියවේද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, පැවිදි අයට ශරීරය ප්‍රිය නැත. වණයක් සෑදුණු කෙනෙකු එයට තෙල් බෙහෙත් ගල්වනුයේ එය ප්‍රිය නිසා නොව එය සුවකර ගැනීමටය. එලෙසම පැවිදි අය බ්‍රහ්මචර්‍යාවෙහි හැසිරෙණු පිණිස ශරීරය වණයක් සේ සිතා ආහාර බෙහෙත් ආදිය දෙති. මහරජ, බුදුපියාණෝ මෙසේ වදාළහ. “මෙම ශරීරය තෙත්වු කුණු සමින් වැසී තිබෙයි. ද්වාර නවයකින් සෙම්, සොටු, මල මූත්‍ර, කන්කුණු, ඇස් කබ නිති වෑහෙයි. පිළියම් කර සුව කළ නොහැකි බැවින් අසාධ්‍ය වණයක් වැනිය. පිළිකුල් කටයුතුය. දුර්ගන්ධය ඇත්තේය” යනුවෙනි.

 

95.

මිලිඳු රජු - ස්වාමීනි, කෙනෙක් මව මියගිය කල ප්‍රේමයෙන් හඬයි. තව කෙනෙක් බණ අසා සද්ධර්ම ප්‍රේමයෙන් හඬයි. ඒ දෙදෙනාගේ කඳුළුවල වෙනස කුමක්ද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, මව මියගිය කල ප්‍රේමයෙන් හඬන අයගේ කඳුළු රාග, ද්වේෂ, මෝහයෙන් රත්වී ඇත. ඔහු සසර බොහෝ ගමන් කරයි. බණ අසා සද්ධර්ම ප්‍රේමයෙන් හඬන අයගේ කඳුළු ප්‍රීති සොම්නස් වශයෙන් නිර්මලය. සීතල ගුණය ඇත. ඔහු සසර බොහෝ ගමන් නොකරයි.

 

96.

මිලිඳු රජු - ස්වාමීනි, සරාගී පුද්ගලයාගේත්, විතරාගී (පහවූ රාග ඇති) පුද්ගලයාගේත් වෙනස කුමක්ද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, සරාගී පුද්ගලයා ජීවිකා වෘත්තියෙහි ප්‍රයෝජන කැමති වෙයි. විතරාගී පුද්ගලයා ජීවිත වෘත්තියෙහි ප්‍රයෝජන නොකැමති වෙයි. සරාගී පුද්ගලයා කෑම බීම ගැනීමේදී රස තෘෂ්ණාවෙහි ඇලී එය අනුභව කරයි. වීතරාගී පුද්ගලයා තිත්ත පැණිරස දන්නා නමුත් රස තෘෂ්ණාවෙහි නොඇලී එය අනුභව කරයි.

 

97.

මිලිඳු රජු - ස්වාමීනි, සංසාරය යනු කුමක්ද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, කෙනෙක් මෙලොව ඉපදී මෙලොවදී මිය යයි. මෙලොවදී මිය ගොස් අන් තැනක උපදියි. එතැන ඉපදී එතැනම මිය යයි. එතැන මිය ගොස් අන් තැනක උපදියි. සංසාරය මෙසේ වෙයි. යමෙක් ඉදුණු අඹ ගෙඩියක් අනුභව කර අඹ ඇටය රෝපණය කරයි. එය වැඩුණු විට එයින්ද ඇටයක් ගෙන රෝපණය කරයි. මෙසේ කෙළවරක් නොමැතිව අඹ ගස් ඇතිවෙන්නාක් මෙනි.

 

98.

මිලිඳු රජු - ස්වාමීනි, බොහෝ කාලයක් ප්‍රාණඝාත අකුසල් කළ කෙනෙක් වුවත් මරණාසන්න කාලයෙහි බුදුගුණ සිහි කළේ නම් ඔහු සුගතගාමී වන බව ඔබවහන්සේ පවසති. එසේ වන්නේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, බුදුගුණ භාවනාව යනු මහත් වු කුසලයකි. එය කොතරම් බර පැටවුවත් ජලයෙහි ඉල්පෙන නැවක් මෙනි. උඩට මතුවෙයි.

 

99.

මිලිඳු රජු - ස්වාමීනි, බ්‍රහ්ම ලෝකයට කොපමණ දුරද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, මිනිස් ලොවට බ්‍රහ්ම ලෝකය ඉතා දුරය.

මිලිඳු රජු - ස්වාමීනි, එසේනම් ඍද්ධිමත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට දික් කළ අතක් වක් කිරීමට ගතවන කාලය තුළ බ්‍රහ්මලෝකයෙහි පහළ විය හැකි බව ඔබවහන්සේ පවසන්නේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, ඔබ ඉපදුන අලසන්දා නම් දිවයින මෙහි සිට කොපමණ දුරද?

මිලිඳු රජු - ස්වාමීනි, යොදුන් දෙසීයකි.

නාගසේන තෙරණුවෝ - ඔබට දැන් අලසන්දාව සිහි කළ හැකිද?

මිලිඳු රජු - එසේය ස්වාමීනි.

නාගසේන තෙරණුවෝ - ඒ සඳහා කාලයක් ගත වූයේද?

මිලිඳු රජු - නැත ස්වාමීනි.

නාගසේන තෙරණුවෝ - මහරජ, එලෙසම ඍද්ධිමත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට සිතන පමාවෙන් බ්‍රහ්මලෝකයට යා හැකිය.

 

100.

මිලිඳු රජු - ස්වාමීනි, යමෙක් කුසලයක් හෝ අකුසලයක් කළ කල කවරක් බොහෝ වේද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, කුසල් බොහෝ වෙයි. අකුසල් ඉතා මඳ වෙයි. අකුසල් කරන්නා තැවෙයි. ඒ නිසා නොවැඩෙයි. කුසල් කරන්නා සතුටු වෙයි. එයින් කුසල් වැඩෙයි. කුසලය සැප විපාක ඇත්තේ ස්වර්ග සම්පත්ති ලබා දෙයි. අකුසලය දුක් විපාක ඇත්තේ නරකයට පමුණුවයි. එක් පුරුෂයෙක් බුදු කෙනෙකුට එක් මහණෙල් මල් අහුරක් පුදා ඒ පිනින් බොහෝ කාලයක් අපා දුකකට නොපැමිණියේය.

 

101.

මිලිඳු රජු - ස්වාමීනි, යමෙක් දැන දැන පව්කම් කරයි. තවත් කෙනෙක් නොදැන පව්කම් කරයි. වැඩියෙන් අකුසල් සිදුවන්නේ කාටද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, යමෙක් විපාක නොදැන පව්කම් කරන්නේ නම් ඔහුට අකුසල් බොහෝය. රත්වූ යකඩ ගුලියක් එක් අයෙක් දැනගෙන අල්ලන අතර අනෙක් අය නොදැන අල්වයි. නොදැන ඇල්ලු තැනැත්තාගේ අත වැඩියෙන් දැවෙයි. විපාක නොදන්නා තැනැත්තාගේ මෝහය හෙවත් මුළාව බලවත් නිසා බොහෝ අකුසල් රැස්කර ගනියි. පව්වල විපාක දන්නා තැනැත්තා පව් කළත් කරන්නේ නොකර බැරි කමකින් මිස කැමැත්තකින් නොවෙයි. ඔහු පව්කම් කරන්නේ නිතරම පසුබෑමෙන්‍ ය. එම නිසා ඔහුගේ අකුසල් නොදැන පව් කරන්නාගේ තරම් බලවත් නොවෙයි

 

102.

මිලිඳු රජු - ස්වාමීනි, මේ කයින්ම අහසින් යන්නේ කෙසේද?

 

නාගසේන තෙරණුවෝ - මම මෙතැන සිට උඩ පනිමි” යයි සිතූ විගසම ශරීරය සැහැල්ලු වී අහසට යයි. එලෙසම සිත වශී කර ගත් ඍද්ධිමත් භික්ෂුහු කය සිතට නඟාගෙන අද්‍රව්‍ය වූ සිත වශයෙන්ම අහසින් යති.

 

103.

මිලිඳු රජු - ස්වාමීනි, විඥානය (සිත, සිතීමේ හැකියාව) සහ ප්‍රඥාව යනු එකක්ද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, විඥානය සහ ප්‍රඥාව යනු දෙකකි. විඥානය ගැමියෙක් රන් කාසියක් හඳුනා ගැනීම හා සමානය. අරමුණ පමණක් හඳුනා ගනියි. ප්‍රඥාව යනු රන්කරුවෙක් රන් කාසියක් හඳුනා ගැනීම හා සමානය. ඔහු එහි ප්‍රයෝජන හොඳ නොහොඳ විශේෂයෙන් දැන ගනියි. ප්‍රඥාව අරමුණ විශේෂයෙන් දැන ගනියි.

 

104.

මිලිඳු රජු - ස්වාමීනි, ජීව නම්වූ ආත්ම කෙනෙක් නැත්නම් කවරෙක් ඇසින් රූප දකියිද? කනෙන් ශබ්ද අසයිද? කවරෙක් නාසයෙන් ගඳ සුවඳ දැන ගනියිද? කවරෙක් දිවෙන් රස විඳියිද? කවරෙක් ශරීරයෙන් ස්පර්ශ කරයිද? කවරෙක් සිතින් සිතයිද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, ඔබ පවසන පරිදි සත්වයෙක් පුද්ගලයෙක් ඇත්නම් ඇස නැති කලද ඔහු රූප දැකිය යුතුය. කන නැති කලද ශබ්ද ඇසිය යුතුය. දිව නැති කලද රස විඳිය යුතුය. එහෙත් එසේ සිදු නොවෙයි. එමනිසා ජීව කෙනෙක්ද නොමැත.

 

105.

මිලිඳු රජු - ස්වාමීනි, බුදුපියාණන් විසින් දේශනා කළ අති දුෂ්කර දෙය කුමක්ද?

 

නාගසේන තෙරණුවෝ - මහරජ, යමෙකුට නැවකින් මහා සමුද්‍රය මැදට ගොස් දෝතින් වතුර ගෙන දිව ගා බලා මේ ගංඟා නම් ගඟේ වතුරය, මේ යමුනා ගඟේ වතුරය, මේ අචිරවතී ගඟේ වතුරය, මේ සරභූ ගඟේ වතුරය, මේ මහී ගඟේ වතුරය කියා හඳුනාගත නොහැකිය. එකම අරමුණෙහි පවතින්නා වූ ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, මනසිකාර යන චිත්ත චෛතසිකයන් (සිත හා සිතුවිලි) බෙදා දැක්වීම එයටත් වඩා අති දුෂ්කර කරුණකි. බුදුපියාණෝ මෙම අරූපි ධර්මයන් බෙදා දැක්වූ සේක.