සිංහල මිලින්‍දප්‍ර‍ශ්නය

 

 

පටුන වෙත


 

සිතියම් සහිත

සද්ධර්‍මාදාස නම් වූ

සිංහල මිලින්‍දප්‍ර‍ශ්නය

(ගැටපද විවරණ සහිත යි)

 

___________________

 

 

මහනුවර උපොෂිත පුෂ්පාරාම මහාවිහාරවාසී වූ

හීනටිකුඹුරේ සුමංගල ස්වාමීන්ද්‍ර‍යන් වහන්සේ

වි සි න්

පාළිමිලින්‍දපඤ්හය පෙරළීමෙන්

විරචිත යි.

 

________

 

 

 

විද්‍යොදය පිරිවෙණෙහි ආචාර්ය

ගලගම පණ්ඩිත ශරණඞ්කර

ස්ථවිරපාදයන් වහන්සේ විසින්

ලිපි දොෂාපහරණයෙන් ප්‍ර‍තිසංස්කෘත යි.

 

_____

 

 

 

 

ශ්‍රී බු.ව. 2514

ක්‍රි.ව. 1970

සංඥාපනය

මිලින්ද නම් රජ කෙනෙකුන් විසින් නඟන ලද උභතොකොටික වූ ප්‍ර‍ශ්නයන්ට නාගසෙන නම් රහත්තෙරකෙනෙකුන් වහන්සේ විසින් දෙන ලද ධර්මානුකූල පිළිතුරු සංග්‍ර‍හ කොට මිලින්ද පඤ්හ කරණ ලද පාලිග්‍ර‍න්ථය මිලින්ද පඤ්හ ය යි ප්‍ර‍සිද්ධ ය. මේ ග්‍ර‍න්ථයට අයත් වන්නේ පාලිසාහිත්‍යයෙහි ඉතා ශ්‍රෙෂ්ඨස්ථානයකි. මෙහි රචනා විලාසය අතිශය මනොඥ ය. එය මෙයින් අපෙක්ෂා කළ අර්ථයට ඉතාමත් උචිත ය. මෙයින් ප්‍ර‍කට වන මිලිඳුරජතුමාගේ ප්‍ර‍ශ්න විචාරණශක්තිය පරදින්නේ නාගසෙන තෙරුන්ගේ ප්‍ර‍ශ්න විසර්ජනශක්තියට පමණකි. ඒ දෙදෙනාගේ ඒ ශක්ති දෙක ම අතිශයාශ්චර්‍ය්‍යාවහ ය. තර්කයෙහි අතිශය දක්ෂ වූ නාසෙන තෙරුන් වහන්සේ පරවාදමථනය සඳහා තර්කශාස්ත්‍ර‍යට වඩා අලංකාර ශාස්ත්‍ර‍ය ම යෙදූහ. බොහෝ විට ස්වකීයමතයන් ස්ඵුට කිරීමට උන්වහන්සේ උපමාවන්ගේ හා නිදර්ශනයන්ගේ ද පිහිට සෙවූහ. තැනට නිසි උපමානිදර්ශනයන් දැක්වීමෙහි උන්වහන්සේ තුළ වූ ශක්තිය අද්විතීය ය. සිවුපිළිසිඹියා පත් රහත් කෙනෙකුන් තුළ මිස අනෙක් කෙනෙකුන් තුළ නො පිහිටන ධර්මප්‍ර‍තිහානයන් මිලින්දපඤ්හයෙහි බොහෝ තැනින් ප්‍ර‍කට වේ.

මිලින්දපඤ්හ රචනා කාලය

මිලිඳුරජතුමා හා නාගසෙනතෙරුන් වහන්සේ ද මනස්කල්පිත පුද්ගලයන් නො වන බව මතු දැක්වෙන කරුණුවලින් ඔප්පු වෙයි. ඒ දෙදෙනා අතර සිදු වූ, මේ ග්‍ර‍න්ථයෙහි දැක්වූ, සංවාදය ද නුවූවක් නො වේ. එහෙත් ඒ සංවාදයට අනතුරු ව ම එය ග්‍ර‍න්ථාරූඨ වූයේ ය යි කීමට මේ පොතෙහි මුල ම යෙදී තිබෙන තං යථානුසූයතෙ යන පාඨය ඉඩ නො දෙයි. ඒ පාඨයෙන් හැඟෙන්නේ ඒ සංවාදය සිදු වීමෙන් කලකට පසු ශ්‍රැතිපරම්පරාවෙන් ලද කරුණු සංග්‍ර‍හ කොට මිලින්දපඤ්හය කළ බව යි. පාළි අටුවාවන්හි කීප පළක ම මිලින්ද පඤ්හයෙන් උපුටාගත් පාඨ ඇතත් ඒ පාඨ දැන් අප අතට පැමිණ තිබෙන මිලින්දපඤ්හයෙහි පාඨයන් හා හැම ලෙසින් ම සමාන නො වන බව මතු දැක්වෙන නිදර්ශනයන්ගෙන් ඔප්පු වෙයි.

 

සුමංගලවිලාසිනියෙහි අම්බට්ඨසුත්තවණ්ණනාවෙහි මිලින්දපඤ්හයෙන් උද්ධරණය කළ-

අතිදුක්කරං භන්තෙ නාගසෙන භගවතා කතන්ති. කිං මහාරජාති. මහාජනෙන හිරිකරණොකාසං බ්‍ර‍හ්මායුබ්‍රාහ්මණස්ස අන්තෙවාසිඋත්තරස්ස ච බාවරිස්ස අන්තෙවාසීනං සොළස බ්‍රාහ්මණානං ච සෙලස්ස බ්‍ර‍හ්මණස්ස අන්තෙවාසීනං තිසමාණවානඤ්ච දස්සෙසි භන්තෙති. න මහාරාජ භගවා ගුය්හා දස්සෙසි. ඡායං භගවා දස්සෙසි. ඉද්ධියා අභිසඞ්ඛරිත්‍වා නිවාසනනිවත්‍ථං කායබන්‍ධනබද්ධං චීවරපාරුතං ඡායාරූප මත්තං දස්සෙසි මහාරාජා ති. ඡායාරූපෙ දිට්ඨෙ සති දිට්ඨො යෙව නනු භන්තෙති. නිට්ඨතෙතං මහාරාජ, හදයරූපං දිස්වා බුජ්ඣනකසත්තො භවෙය්‍ය, හදයමංසං තින්නෙත්‍වා දස්සෙය්‍ය සම්මාසම්බුද්ධොති. කල්ලොසි[1] භන්තෙ නාගසෙනාති.

 

යන මේ පාඨය පපඤ්චසූදනියෙහි බ්‍ර‍හ්මායුසුත්තවණ්ණනාවෙහි ද, සුත්තනිපාතට්ඨකථාවෙහි සෙලසුත්තවර්ණනාවෙහි ද දක්නා ලැබේ. ඒ පොත්හි ලෙඛකප්‍ර‍මාදයෙන් වූ විසදෘශපාඨ පෙණෙතත් එය මෙහි දී සැලකිය යුතු නො වේ.

 

මේ පාඨය හා අර්ථයෙන් සමාන වන මිලින්දපඤ්හපාඨය මෙසේ යි-

 

දුක්කරං භන්තෙ නාගසෙන භගවතා කතං, යං එකස්සපි අදස්සනීයං තං දස්සෙන්තොනාති. න මහාරාජ භගවා ගුය්හං දස්සෙසි. ඉද්ධියා පන ඡායාං දස්සෙසීති. ඡායාය හි භන්තෙ දීට්ඨාය දීට්ඨායෙව හොති ගුය්හං යං දිස්වා නිට්ඨඞ්ග තොති.......................................... යදි මහාරාජ කොචී භගවතො හදයං දීස්වා බුජඣෙය්‍ය තස්සපි භගවා යොගෙන හදයං දස්සෙස්‍ය. (මුද්‍රිත මිලින්‍දපඤ්හයෙහි 134 පිටුව).

 

අටුවාවන්හි එන යථොක්ත පාඨය හා මේ මිලින්දපඤ්හපාඨය ද අසමාන ය යි කාට වුවත් පැහැදිලි වේ. මිලින්ද පඤ්හයෙහි වත්ථගුය්හනිදස්සන පඤ්හයෙහි මුල එක ම සෙලබ්‍රාහ්මණයා පමණක් සඳහන් වතත් අටුවා පාඨයෙහි තවත් නම් ද සඳහන් වේ.

 

මනොරථපූරණියෙහි පස්වන වර්ගයෙහි අටවැනි සූත්‍ර‍වර්ණනාවෙහි මිලින්දපඤ්හයෙන් උද්ධෘත-

භන්තෙ නාගසෙන එකස්මිං අච්ඡාරාක්ඛණෙ පවතිත්ත චිත්තසඞ්ඛාරා සවෙ රූපිනොඅස්සු, කීවමහාරාසීභවෙය්‍යාති. වාහසතානං ඛො මහාරාජ වීහීනං අඩ්ඪචූළං ච වාහා විහිසත්තම්මණානි ද්‍වෙ ච තුම්බා එකච්ඡරාක්ඛණෙ පවතතිතස්ස චිත්තස්ස සඞ්ඛම්පි න උපෙන්ති. කලම්පි න උපෙන්ති. කල භාගම්පි න උපෙන්තීති.

 

යන පාඨය මිලින්දපඤ්හයෙහි එන්නේ බොහෝ අඩුපාඩු සහිත ව ය. මේ පාඨයෙහි මුල ම පෙණෙන මිලිඳුරජුගේ ප්‍ර‍ශ්නය මිලින්දපඤ්හයෙහි නො පෙණේ. ඊට මුලින් ඌනත්වයක් ඇති බව හැඟේ.

 

මිලින්දපඤ්හ පාඨය මෙසේ යි:-

 

(තෙන හි භන්තෙ නාගසෙන බුද්ධො අසබ්බඤ්ඤෑ, යදි තස්ස පරියෙසනාය, සබ්බඤ්ඤැතඤාණං හොතීති.)............ (මෙතැන ඌනත්‍වයක් තිබේ). වාහසතං ඛො මහාරාජ වීහීනං අඩ්ඪචූළං ව වාහා වීහිසත්තම්මණානි ද්‍වෙ ච තුම්බා එකච්ඡරාක්ඛණෙ පවත්ත චිත්තස්ස එත්තකා වීහී ලක්ඛං (?) ඨපීයමානෙ පරීක්ඛයං පරියාදානං ගච්ඡෙය්‍යුං (මිලින්‍දපඤ්හ 81 වන පිටුව).

 

මෙහි අවසානභාගය ද අටුවාවෙහි පෙණෙන පාඨය හා අසමාන ය.

 

සුමංගලවිලාසිනියෙහි මහාපරිනිබ්බාණසුත්තවණ්ණනාවෙහි පෙණෙන-

 

භන්තෙ නාගසෙන කතමං ඛුද්දකං?කතමං අනුඛුද්දකන්ති? දුක්කටං මහාරාජ ඛුද්දකං. දුබ්භාසිතං අනුඛුද්දකං

යන පාඨය මිලින්ද්දපඤ්හයෙහි (114) වන පිටුවෙහි)

කතමානි තානි ඛුද්දකානි සික්ඛාපදානි? කතමානි අනුඛුද්දකානි සීක්ඛාපදානීති දුක්කටං මහරාජ ඛුද්දකසික්ඛාපදං දුබ්භාසිතං අනුඛුද්දකසික්ඛාපදං.

යන ලෙසින් පෙණේ.

 

මේ සංසන්දනයෙන් පැහැදිලි වන්නේ අටුවාඇදුරු බුදුගොස්තෙරණුවන් දැන් තිබෙන මිලින්දපඤ්හය නුදුටු බව යි. දැන් තිබෙන මිලින්ද පඤ්හය අටුවා කිරීමෙන් පසු කාලයක කළ බව එයින් ම ඔප්පු වේ. මේ මිලින්දපඤ්හය රචනා කළ කාලය පිළිබඳ ව මීට වැඩි දෙයක් කිය නො හැකි ය.

මිලින්දපඤ්හයෙහි මුල

අටුවා ලියන කාලයෙහි දැන් තිබෙන මිලින්දපඤ්හය නො තිබුනු බවත්, එහෙත් අනෙක් මිලින්දප්‍ර‍ශ්නයක් පැවැති බවත් යට දැක් වූ කරුණුවලින් තීරණය කර ගත හැකි ය. ඒ පුරාතන මිලින්දප්‍ර‍ශ්නය කිනම් භාෂාවකින් ලියා තුබුනේ දැයි නිශ්චය කිරීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය දුර්ලභ ය. එහෙත් මෙහි ප්‍රාරම්භ පාඨය වූ තං යථානුසූයතෙ යන්න සංස්කෘතරචනාවෙක්හි මුහුණුවර දක්වන්නකි. එය තද්‍යථානු‍ශ්‍රෑයතෙ යන සංස්කෘතපාඨයෙහි පාලිපරිවර්තනය යි. එහෙයින් වර්තමාන පාළිමිලින්දපඤ්හයට මුල් වූයේ සංස්කෘතභාෂාවෙන් ලියා තුබුනු මිලින්දප්‍ර‍ශ්නයෙකැ යි අනුමාන කට හැකි ය.

 

අටුවාචාරීන් වහන්සේ සංස්කෘතග්‍ර‍න්ථයකින් කරුණු ගණිත් ද? යනු දැන් නැඟිය හැකි ප්‍ර‍ශ්නයකි. ඔවු යනු ඊට දිය හැකි කෙටි පිළිතුර යි. ග්‍ර‍න්ථයෙහි භාෂාව කුමක් වුවත් එහි ඇතුළත් කරුණු බුද්ධ වචනයන්ට අවිරුද්ධ නම්, ස්වමතයන් ස්ථිර කිරීමට ඉවහල් වේ නම්, එබඳු කරුණු ගෙණ පෙළබසට නඟා දැක්වීම අටුවාචාරීන් වහන්සේට නුපුරුදු වූවක් නො වේ. ස්වනිකායිකයෙකු නො වූ ද මහාකවි අශ්වගොෂ තෙරුන්ගේ පොත්වලින් ගත් කරුණු බුදුගොස්තෙරුන්ගේ අටුවා පොත්හි පෙණෙන බව අපි දනිමු.

 

ඒ මූලය වූ සංස්කෘතමිලින්දප්‍ර‍ශ්නය පවා සංවාදයෙන් කලක් ගත වූ පසු කළ බව සිතිය හැකි ය.

 

අටුවා ඇදුරු බුදුගොස්තෙරණුවෝ සිය ගත්වලට නොයෙක් ගත්වලින් කරුණු ගත්හ. එහෙත් ඒ කරුණු ගත් ගත්වල නම් හෝ ගත් කතුවරුන්ගේ නම් හෝ බොහෝ විට නො දැක්වූහ. සුමංගලවිලාසිනියෙහි නිකාය ශබ්දාර්ථ දැක්වීමෙහි දී පාණිනීයයෙහි තුන්වන අධ්‍යායයෙහි තුන්වන පාදයෙහි එය ලොකව්‍යවහාරයෙන් ගත් සාධකයකැ යි කීහ. පාණිනීයයෙහි නම වත් නො දැක්වූහ. මනොරථපූරණියෙහි (හේවාවිතාරණ මුද්‍ර‍ණයෙහි 451 වන පිටුවෙහි) ජනපද විතර්කය විස්තර කිරීමෙහි දී දැක් වූ අසුකො ජනපදො ඛෙමො සුහික්ඛො යන්න මහාකවි අශ්වඝොෂතෙරුන්ගේ සෞන්දරනන්දකාව්‍යයෙහි පසළොස් වැනි සර්ගයෙහි 42 වන ශ්ලෝකයෙහි ප්‍ර‍ථමාර්ධයය වූ අසෞක්ෂෙමො ජනපදඃ සුහික්ෂොසාවසෞ ශිවඃ යන්නෙහි පාලිපරිවර්තනය වූ නමුත් ඒ බවක් නො කීහ.

 

මෙලෙසින් නම් නො කියා නොයෙක් පොත්වලින් කරුණු ගත් අටුවාචාරීන් වහන්සේ නාගසෙනතෙරුන්ට දැක්වූ ගෞරවය ඉතා මහත් ය. උන්වහන්සේ බොහෝවිට නම් දැක්වූ සීහලට්ඨකථා ආදි පැරණි අටුවාවන්ට ද වඩා මිලින්දප්‍ර‍ශ්නයට ගරු කළහ. උන්වහන්සේ සුමංගලවිලාසිනියෙහි දී හා පපඤ්චසූදනියෙහි දී ද යථොක්ත අතිදුක්කරං යනාදි මිලින්දපඤ්හපාඨය උද්ධරණය කරද්දී කිමෙත්ථ අඤ්ඤෙන වත්තබ්බං, වුත්තමෙතං නාගසෙනත්ථෙරෙනෙව මිලින්දරඤ්ඤා පුට්ඨෙන (=මෙහි ලා අනෙකෙකු විසින් ම මෙය කියන ලදී) යි කියමින් නාගසෙන වචන අතිශය ප්‍රාමාණිකත්වයෙන් හා මහාපදෙශත්වයෙන් ද සැලකූහ. සුත්තනිපාතට්ඨකථාව මෙහි දී මේ පාඨයෙහි අඤ්ඤෙන (=අනෙකෙකු විසින්) යන්න අම්හෙහි (=අප විසින්) යි යෙදුනේ ය. අටුවාචාරීන් වහන්සේ විසින් මිලින්දප්‍ර‍ශ්නය එතරම් ගුරුස්ථානයෙහි ලා සලකන ලද්දේ නම් අන්‍යයන් ගැණ කියනුම කිම?

සිංහල ගත්කතුවරු

ලක්දිව සිංහල ග්‍ර‍න්ථකර්තෘවරයෝ ද, මිලින්දපඤ්හය අමතක නො කළහ. ඉතාමත් පැරණි වූ මිලින්දප්‍ර‍ශ්න සිංහල පරිවර්තනයක් අපට දැන් නැතත් එබන්දක් නො වූයේ ය යි කිය නො හැකි ය. කුරුණෑගල රාජ්‍යසමයෙහි නැතහොත් ඊට ආසන්න කාලයෙක්හි කරණ ලද සද්ධර්ම රත්නාවලියෙහි හා ජයවර්ධනපුර රාජ්‍ය කාලයෙහි කළ සද්ධර්ම රත්නාකරයෙහි ද මිලින්දප්‍ර‍ශ්නයෙහි සංක්ෂෙපයක් අන්තර්ගත ය. මිලිඳු නාමය සිංහල කවීන්ගේ සිහියෙන් ඉවත් නො වූ බව පැරකුම්බා සිරිතෙහි 72 වන කවෙහි-

 

පැනය කියන විසඳන කලැ මිලිඳුනිරිඳු සදිසිවාද යන පාදයෙන් ඔප්පු වේ.

 

රක්ඛිතතලහිමාලයෙහි වූ රක්ඛිතතල නම් පර්වතයක් මිලින්දපඤ්හයෙහි සඳහන් වේ. මේ නාමය අනෙක් පාළි පොතක දුටු බවක් අපට මතක නැත. සිංහල පොත්හි හිමාලයෙහි වූ රක්ගල්තලක් නම් සඳහන් වේ. ඒ රක්ගල්තල යන්න සඳහා එහි සැබෑ අර්ථය නො සලකා මේ රක්ඛිතතල යන වචනය පාළි මිලින්දපඤ්හයෙහි යෙදුනේ නම්, මේ පාළිමිලින්දපඤ්හයට වඩා පැරණි වූ සිංහල මිලින්දප්‍ර‍ශ්නයක් තුබුනු බවත් එය ද බලමින් පාළිමිලින්දපඤ්හය ලියූ බවත් සිතිය හැකි ය. රක් යනු මනඃශිලා නම් උපධාතුවිශෙෂයට සිංහල නාමයකි. මනොසිලාතල යන්න සිංහලයට පෙරලූ පැරණි ගත්කතුවරු රක්ගල්තල යි යෙදූහ. රක්ගල්තල යන්නෙහි ඇති ඒ අර්ථය නො දත්තෙකු අතින් එය රක්ඛිතතල යි පාළියට පෙරළීමට බැරි බවක් නො මැති යි. පාළිමහාබොධිවංශකර්තෘ ආදි ශ්‍රෙෂ්ඨ උගතුන් අතින් ද මෙ බඳු වැරදි වූ බව පෙණෙන හෙයින් මෙය ද නො විය හැක්කක් නො වේ.

මිලින්දපඤ්හයෙහි ඇතුළත් කරුණු

මිලින්දපඤ්හයෙහි මුල මිලිඳුරජුගේ හා නාගසෙනතෙරුන්ගේ ද පූර්වජන්ම ප්‍ර‍වෘත්තිය හා මිලිඳුරජතුමා පණ්ඩිත ය යි ප්‍ර‍සිද්ධ ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන් කරා එළඹ ප්‍ර‍ශ්න විචාරා ඔවුන් පැරද වූ පරිදිත්, රහතුන් වහන්සේ දෙව්ලොවට වැඩ මිනිස් ලොව ඉපද මිලිඳුරජු දමනය කර සසුන්වැඩ වඩන මෙන් මහාසෙන දිව්‍යපුත්‍ර‍යන්ට ආරාධනා කළ පරිදි හා එය පිළිගත් ඒ දෙව්පුතු මිනිස්ලොව ඉපද නාගසෙන නම් ව එකලට පැවැති ශාස්ත්‍ර‍යන් ඉගෙණ එහි හරයක් නො දැක බුද්ධධර්මයෙහි පැහැද පහණ ව සිවුපිළිසිඹියා පත් රහත් වූ පරිදිත්, පසු ව මිලිඳුරජු හමු ව ඔහු පහදවාගත් අයුරුත් ප්‍ර‍කාශිත ය. ඊලඟට මිලිඳුරජුගේ ප්‍ර‍ශ්නරාශියක් හා නාගසෙනතෙරුන් වහන්සේ ඊට දුන් පිළිතුරුත් එයි. අවසානයෙහි යොගාවචරයෙකුට අවශ්‍ය කරුණු රාශියක් ඇතුළත් ය. ඒ කරුණු අසා පැහැදුනු මිලිඳුරජතුමා සිය නමින් මහාවිහාරයක් කරවා නාගසෙන තෙරුන් වහන්සේට පුදා, පසු ව සිය වැඩිමහලු පුත් කුමරුන්ට රාජ්‍යය භාර කර පැවිදි වූ රහත් වූ බවත් දැක් වූ කථාවෙන් පොත අවසන් වෙයි.

 

සාධකපාඨත්‍රිපිටකයෙහි නොයෙක් තැනින් උපුටා ගත් ගද්‍යපද්‍යසාධක පාඨ රාශියක් මිලින්දපඤ්හයෙහි ඇතුළත් වෙයි. මිලින්දපඤ්හය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ රෛස් ඩේවිඩ්ස් පඬිතුමා තමාගේ පොතේ සංඥාපනයෙහි ඒ සියල්ල සැකෙවින් දක්වා එයින් සමහරක් පෙණෙන මුල්තැන් ද සඳහන් කරයි. මුල්තැන් සොයා ගත නො හැකි වූ පාඨයන්හි දී ඒ බව ද දක්වයි. එතුමා විසින් සොයා ගත නො හැකි ය යි දැක්වූ පාඨයන්ගෙන් සමහරක් තිබෙන මුල්තැන් සොයා ගැනීම එතරම් අපහසු නො වේ. එහෙත් සමහර පාඨ තිබෙන මුල් තැන් සොයා ගැණීම ඉතාමත් අපහසු ය. සිංහල, සියම්, බුරුම අකුරුවලින් මුද්‍රිත බොහෝ ත්‍රිපිටකග්‍ර‍න්ථයන්හි ක්‍ර‍මානුකූල සූචි පත්‍ර‍, අනුක්‍ර‍මණිකා ආදිය නොමැති වීමත්, ඉංග්‍රීසි අකුරෙන් මුද්‍රිත පොත්හි තිබෙන ඒ සූචිපත්‍ර‍ ආදියෙහි අසම්පූර්ණත්වයක් ඒ අපහසු බවට ප්‍ර‍ධාන හෙතුව ය යි කිය හැකි ය. මිලින්දපඤ්හයෙහි බුදුරජානන් වහන්සේ විසින් හා ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් ද දෙසූ සේ දැක්වූ සමහර පාඨ ක්‍ර‍මානුකූල පරීක්ෂනයක් කළත් වර්තමාන ත්‍රිපිටක පාළියෙන් සොයා ගත නො හැකි ය යනු සමහරුන්ගේ අදහසකි. ඒ අදහස සත්‍ය වුවොත් මිලින්ද පඤ්හයෙහි සංස්කෘත මූලකත්වය තහවුරු වෙයි.

ඌනතා

වර්තමාන මිලින්දපඤ්හය අසම්පූර්ණ ය යනු එහි ම අවසානයෙහි දැක්වේ. සම්පූර්ණ මිලින්දපඤ්හයෙහි ප්‍ර‍ශ්න තුන්සිය හතරක් ඇතුළත් විය යුතු නමුත් එයින් දෙසාළිසක් ම මේ පාළිමිලින්දපඤ්හයෙහි නැති බව සඳහන් වෙයි. ඒ ඌනත්වය කෙසේ වූයේ දැ යි නිශ්චය වශයෙන් නො කිය හැකි ය. බොහෝ සංස්කෘත ප්‍රාකෘත බෞද්ධ ග්‍ර‍න්ථ විනාශ වී ගිය බව අපි දනිමු. මිලින්ද ප්‍ර‍ශ්නය ද එසේ විනාශයට ලං ව පැවැති අවස්ථාවක ඉතිරි ව තුබුනු කොටස පාළියට නැඟීමෙන් මේ මිලින්දපඤ්හය සකස් කළ බව සලකතොත් ඒ ඌනත්වයට හෙතුව කුමක් දැ යි සිතා ගත හැකි ය.

මිලින්දපඤ්හයෙහි සඳහන් පුද්ගලයෝ

මිලින්දපඤ්හයෙහි සඳහන් පුද්ගලනාම රාශියකි. ඒ එක් එක් නාමයක් ගැණ විවරණ ලියන්නට සැරසුනොත් මේ සංඥාපනය අතිශය දීර්ඝ විය හැකි ය. එහෙයින් මෙහි අවශ්‍යයෙන් විවරණය කළ යුතු මිලිඳු, නාගසෙන ආදි නම් කීපයක් පිළිබඳ ව සංක්ෂිප්ත විවරණ ලියන්ට අදහස් කරමු. රෛස් ඩේවිඩ්ස් පඬිතුමාගේ මිලින්දප්‍ර‍ශ්න ඉංග්‍රීසි පරිවර්තන සංඥාපනයෙහි හා කේම්බ්‍රිජ්විශ්වවිද්‍යාලය මගින් සම්පාදනය කළ ඉන්දියාඉතිහාසයෙහි ද මිලිඳුරජු පිළිබඳ ව මේ තාක් සොයා ගත හැකි ව විස්තරය ඇතුළත් වෙයි. ඒ අනුව ඒ රජතුමා පිළිබඳ විස්තරය දැක්වීම අපට අපහසු නො වන බව ඒ පඬිතුමාට හා ඒ ඉතිහාසකර්තෘවරයාට ද ස්තුතිපූර්වක ව සඳහන් කරමු.

මිලිඳු රජු

මිලිඳුරජතුමා මනස්කල්පිත පුද්ගලයෙකු නො වන බව යට දැක්වීමු. මිලින්දපඤ්හයෙහි සඳහන් පරිදි ඒ රජතුමා අලසන්දා නම් දිවයිනෙහි කලසී නම් ග්‍රාමයෙහි උපන්නෙකි. සාගලපුරය රාජධානිය කොට ගෙණ විශාල ප්‍රදෙශයක් පාලනය කළ යොන් රජෙකි.

 

අලසන්දා යනු ඇලැක්සැණ්ඩර් නම් ග්‍රීක් රජුට අයත් ව පැවැති ඇලැක්සැණ්ඩ්රියා නම් ප්‍රදෙශයට යෙදූ මාගධිකනාමය යි. ඒ අලසන්දාව දිවයිනකැ යි මෙහි දැක්වේ. කාබුල්නදියෙහි අතුගංගා වූ චේනාබ්, රාවී යන නදී දෙක අතර පිහිටි හෙයින් ඒ නමින් ප්‍ර‍සිද්ධ වූ බව සිතා ගත හැකි ය. ශාකලද්වීප යනු ද මීට ම අනික් නමකි. අලසන්දාදිවයින සාගලපුරයේ සිට යොදුන් දෙසියයකින් ඈත පිහිටි බව මේ පොතෙහි සඳහන් වේ.

 

කලසීග්‍රාමය ගැණ අනික් තැනක සඳහන් නො වේ. දැනට ඉන්දියාවෙන් සොයා ගෙණ තිබෙන නානාවිධ පැරණි ග්‍රීක් කාසි අතර කරිසි යන නගර නාමයක් සඳහන් එකක් ද තිබේ. ඒ කාසිය වාත්තු කරවන ලද්දේ ක්‍රිස්තූත්පත්තියට අවුරුදු 180 කට පෙර ඉයුක්‍ර‍ටිඩෙස් (Eukratides) නම් රජෙකු විසිනි. මේ කාසියෙහි සඳහන් කරිසිනගරය හා මිලින්ද පඤ්හයෙහි සඳහන් කලසීග්‍රාමයත් එකක් ම විය හැක්කැ යි යුරෝපීය පඬිවරු සලකති.

 

සාගලපුරය බෞද්ධසාහිත්‍යයෙහි සුප්‍ර‍සිද්ධ ය. පුරාතනයෙහි දඹදිව ධනවත් පවුල්වල තරුණයන්ට රූපසම්පන්න භාර්යාවන් සැපයුවේ මදුරට සාගලපුරය ය යනු කුසජාතක, මහාකස්සපචරිත ආදියෙන් ඔප්පු වෙයි. සාගලපුරය හා කාශ්මීරදෙශයත් අතර දුරප්‍ර‍මාණය දොළොස් යොදුනකැ යි මිලින්දපඤ්හයෙහි දැක්වේ. වර්තමාන පංජාබ්දෙශයෙහි සියල්කොට්නගරය පුරාණ සාගලනගරය ලෙස සැලකේ. සියල් යන්න සාගල යන්නෙන් ආවකි. මේ කොට් යන්න හා සිංහල කොටු යන්න ද සමාන ප්‍ර‍භව ඇති එකාර්ථවත් ශබ්ද ය.

 

මිලිඳුරජතුමා යෝනයෙකු බව මෙහි සඳහන් වෙයි. යොන යනු ද යවන යනු ද සමානාර්ථ ය. ඒ නම් දෙක ම ව්‍යවහාර වූයේ ඉන්දියාවෙන් බටහිරදිග පිහිටි රටවල වැසියන් උදෙසා ය. විශෙෂයෙන් ග්‍රීක් ජාතිකයෝ ඒ නාමයෙන් දඹදිව වැසියන් අතර ප්‍ර‍සිද්ධ වූහ. එහෙයින් මිලිඳුරජතුමා ග්‍රීක්ජාතිකයෙකු විය යුතු ය.

 

බැක්ට්‍රියාවේ සිටි ග්‍රීක්රජුන්ගේ නම් අතර මිනැණ්ඩර් යන නමක් ද දක්නා ලැබේ. මේ රජුගේ නාමය දරණ කාසි වර්ග දෙවිස්සක් බස්නාහිරින් කාබුල්නුවර ද නැගෙනහිරින් මථුරාව ද උතුරෙන් කාශ්මීරය ද තෙක් වූ ඉතා විශාල ප්‍රදෙශයක තැනින් තැන තිබී දැනට සොයා ගෙණ තිබේ. ඒ කාසිවල එක් පැත්තක යම්කිසි රූපසටහනක් ද ග්‍රීක්භාෂා වාක්‍යයන් ද අනික් පැත්තෙහි ඛරොස්ති අක්ෂරවලින් වූ-

 

1.     මහාරාජස ත්‍ර‍තාරස මෙනන්ද්‍ර‍ස

(ආරක්ෂක වූ මෙනන්ද්‍ර‍ මහරජුගේ)

2.    මහාරාජස ධාර්මිකස මෙනන්ද්‍ර‍ස

(ධාර්මික වූ මෙනන්ද්‍ර‍ මහරජුගේ)

 

යනාදි දෙශභාෂාමය පාඨයක් ද පෙණේ. මේ කාසිවල පෙණෙන මෙනැන්ඩ්‍රෞ මෙනන්ද්‍ර යන නාමයන් සංස්කෘත භාෂානුරූප සේ සකස් කිරීමෙන් මිලින්ද යන නම නිපදවා තිබෙන බව යුරෝපයේ පඬිවරු කියති.

 

එක් කාසියක පමණක් පෙණෙන චක්‍ර‍ලක්ෂණය ධර්මාශොකරජ තුමාගේ ද ලකුණක් වූ ධර්මචක්‍ර‍ලක්ෂණය විය හැකි ය යි ද, බෞද්ධ ය යි නිශ්චය කර කිය හැකි අනික් ලකුණක් ඒ කාසිවල නැතැයි ද ධාර්මික යන විශෙෂණය අබෞද්ධ නරෙන්ද්‍ර‍යන්ට පවා යෙදිය හැක්කැයි ද කියමින් රෛස් ඩේවිඩ්ස් පඬිතුමා මිලිඳුරජතුමාගේ බෞද්ධත්වය ගැණ සැක කරයි. එහෙත් බැක්ට්‍රියාවේ ජනයා මෙන් ම රජවරුන් ද බෞද්ධයන් වූ බව ඒ මහතා ම අනික් තැනක දී කියයි.

 

මිලිඳුරජතුමා බුද්ධශාසනයෙහි පැවිදි ව රහත් වූ බව මිලින්දප්‍ර‍ශ්නයෙහි සඳහන් වේ. මිලිඳුරජතුමා කලුරිය කළ පසු එතුමාගේ ශරීරය ආදාහන කළ බවත් එතුමාගේ ශරීරධාතු ලබා ගැණීම සඳහා බොහෝ නගරයන් තරඟ කළ බවත්, ශරීරධාතු බෙදා ගැණීමකට ඒ නගරයන් එකඟවීමෙන් ආරාවුල අවසන් වූ බවත්, ධාතු ලබා ගත් නගරයන් ස්තූප තැනවූ බවත් ප්ලුටාර්ච් (Plutarch) නම් ග්‍ර‍න්ථකර්තෘවරයාගේ ග්‍ර‍න්ථයෙක්හි සඳහන් වේ. මේ කථාව ද මිලින්දප්‍ර‍ශ්නයෙහි දැක්වූ ප්‍ර‍වෘත්තිය සත්‍යයක් ලෙස තීරණය කිරීමට සාක්ෂ්‍යයකි.

තවත් ග්‍රීක් නාම

මිලිඳුරජුගේ ඇමතියන් වූ දෙමන්ත්‍රිය, අනන්තකාය, මංකුර, සබ්බදින්න යන සතරදෙනෙකුන් ගැණ ද මේ පොතෙහි සඳහන් වේ. ඔවුන් ද නිසැක ලෙස ම යවනයන් විය යුතු ය. එහෙයින් ඔවුන්ගේ නම් ද යවනනාම විය යුතු ය. දෙවමන්ත්‍රීය යන්න ඩෙමට්‍රීයොස් (Demetrios) යන නමට ද අනන්තකාය යන්න අන්තියෝචොස් (Antiocho) යන නමට ද සමාන ය යි රෛස් ඩේවිඩ්ස් පඬිතුමා දක්වමින් සබ්බදින්න මංකුර යන දෙකට ප්‍ර‍භව වූ ග්‍රීක් නාම කීම අපහසු ය යි ද කියයි.

නාගසෙන

නාගසෙනතෙරුන් පිළිබඳ සම්පූර්ණ විස්තරය මේ පොතෙහි ම ඇතුළත් වෙයි. පුරාතන සංස්කෘත බෞද්ධ ග්‍ර‍න්ථයන්හි නාගසෙන නාමය නො පෙණෙන හෙයින් මෙය මිලින්දප්‍ර‍ශ්න කර්තෘහු විසින් නිපදවා යොදන ලද්දක් විය හැක්කැ යි සමහර යුරෝපීය පඬිවරු සිතති. ඒ මතය වැරදි ය. පුරාණ සංස්කෘත බෞද්ධ ග්‍ර‍න්ථයන්ගෙන් වර්තමාන පණ්ඩිතලොකයට ලැබී තිබෙන්නේ ස්වල්පයකි. ඒ පොත් ටිකෙහි සඳහන් නුවූ තරමින් නාගසෙන නම් තෙර කෙනෙකුන් ලොකෙයෙහි ඇති නුවූ සේ සිතීම යුතු නො වේ. අටුවාචාරීන්වහන්සේ නාගසෙන නාමය අමතක නො කළහ. ඊට මහත් බුහුමනක් දැක්වූහ. මෑත කාලයේ දී ද නාගසෙන නම් තෙර කෙනෙකුන් සිටි බව හංසසන්දෙශයෙන් පෙණේ.

ෂට්ශාස්තෘහු

බුද්ධකාලයෙහි දඹදිව සිටි පූරණකස්සප, මක්ඛලිගොසාල, නිගණ්ඨනාතපුත්ත, සඤ්ජයබෙල්ලට්ඨිපුත්ත, අජිතකෙසකම්බල, කකුධකච්චායන යන සදෙන ද මිලිඳුරජුගේ කාලයෙහිත් සිටි සේ මේ පොතෙහි සඳහන් වේ. මෙයින් බුද්ධකාලයෙහි සිටි සදෙන ම මිලිඳුරාජ කාලයෙහිත් සිටි සේ පිළිගැණීම යුතු නො වේ. ඒ ෂට්ශාස්තෘවරයන් විසින් ඇති කළ සමයයන්හි (=ආගම්වල) එකල සිටි ප්‍ර‍ධානයන් ඒ ප්‍ර‍ථමයන්ගේ නම්වලින් ම හැඳින්වූ සේ සැලකීම යොග්‍ය ය.

මිලින්දපඤ්හයෙහි සිංහල පරිවර්තනය

මේ සිංහල මිලින්ද ප්‍ර‍ශ්නය ලියන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයෙහි මහනුවර මල්වතු විහාරයේ වැඩ සිටි සීනටිකුඹුරේ සුමංගල නම් තෙරුන් වහන්සේ විසිනි. ඒ පිළිබඳ විස්තර මේ පොතෙහි මුල හා අග ද සඳහන් වෙයි.

 

පාළි මිලින්දපඤ්හය පෙරළා ඒ සුමංගල තෙරුන් වහන්සේ විසින් කළ සිංහල මිලින්දප්‍ර‍ශ්නයට උන්වහන්සේ විසින් තබන ලද නාමය සද්ධර්මාදාස යන්න යි. සදහම් කැඩපත යනු එහි තේරුමයි.

 

සුමංගල තෙරුන්වහන්සේ දීඝනිකායාදි පාළිපොත් කියවූ උගතෙකු බව මේ පොතෙන් හැඟේ. නොයෙක් තැන පාළිමිලින්දපඤ්හයෙහි නො ආ විස්තර අනික් පොත්වලින් ගෙණ මීට එකතු කරන ලද නමුත් සමහර තන්හි දී මිලින්දපඤ්හ පාඨයන් මෙන් ම අනික් පොත්වලින් ගත් පාඨ ද වරදවා පරිවර්තනය කළ බව පෙනේ. සිංහල වාක්‍යරචනා රීති උල්ලංඝනය කළ තැන් මෙහි ඉතා සුලභ ය. සංස්කෘතභාෂාව නො දැන පාළිවචන සංස්කෘත කරන්ට සැරසීමෙන් අපභ්‍රංශවචන නො මවා බොහෝ තැන පාළිවචන ම යොදා තිබීම ප්‍ර‍ශංසාර්හ ය.

 

පුරාතන පැවැති අතිශය දීප්තිමත් ශාස්ත්‍රාලොකය අතුරුදහන් වීමෙන් පසු වර්තමාන ශාස්ත්‍රාලෝකයේ ප්‍රාරම්භ අරුණසමය වූ ඒ කාලයෙහි ස්වකීය ශක්තිය නො සලකා මේ ප්‍ර‍ශ්ස්තධර්මග්‍ර‍න්ථය සිංහල භාෂාවට පරිවර්තනය කරන්ට සැරසුනු ඒ සුමංගල ස්වාමීන්ද්‍ර‍යන්වහන්සේගේ වීරත්වයට වර්තමාන සිංහලයන් අතිශයින් ගරු බුහුමන් කළ යුතුයි.

 

මිලින්දප්‍ර‍ශ්නය සිංහලට පරිවර්තනය කළ දා පටන් ම වාගේ උවසු උවැසියන්ට ප්‍රිය වූ පොතක් වී ය. අදත් ගම්බද ගෙවල්හි ආදරයෙන් කියවනු ලබන පොත් අතුරෙන් මේ පොත ද එකකි.

 

මේ පොත පළමුවරට මුද්‍ර‍ණයෙන් ප්‍ර‍කාශයට පැමිණියේ ක්‍රිස්තු වර්ෂ 1878 හි දී ය. මෙය එදා ප්‍ර‍සිද්ධ මොහොට්ටිවත්තේගුණානන්ද උන්නාන්සේගේ ආධාර ඇති ව පණ්ඩිත ස්ථවිරයන් වහන්සේලා කීපනමක් ලවා ශුද්ධ කරවා ගත් බව ඒ පොතෙහි දැන්වීමෙහි සඳහන් වෙයි. එය අච්චු ගස්වා ප්‍ර‍සිද්ධ කරන්ට යෙදුනේ:-

 

 

කොළඹ පදින්චි කරෝලිස් පීරිස් අප්පුහාමි ද,

ආබ්‍ර‍හම් ලිවේරා අප්පුහාමි ද,

ළුවිස් මැන්දිස් අප්පුහාමි ද,

නන්දිරිස් මෙන්දිස් අමරසේකර අප්පුහාමි ද,

චාර්ලිස් අර්නෝලිස් මැන්දිස්

විජයරත්න අමරසේකර අප්පුහාමි ද

යන පස් දෙනා විසින් ශ්‍රී බුද්ධවර්ෂ 2420 වන්නේ ඇසළමස පුර පසළොස්වක් රිවිදින කොළඹ දී ය.

 

ඊට පසු ව කොළඹ පස්වන හරස් වීදියේ ශ්‍රීභාරතී යන්ත්‍රාලය හා පොත් වෙළඳ හල ද හිමි ව සිටි යූ.පී. ඒකනායක මහතා විසින් භදන්තාචාර්ය තෙල්වත්තේ ශ්‍රී අමරවංශ මහාස්ථවිර ස්වාමිපාදයන් වහන්සේගේ ද උපකාර ඇති ව සකස් කොට මුද්‍ර‍ණය කරවා 1928 ජනවාරි මස ප්‍ර‍කාශ කළ මිලින්දප්‍ර‍ශ්නයක් ද තිබේ.

 

මේ පොත සංස්කරණය කර දෙන්ට ය යි කොළඹ වේල්ල වීදියේ රත්නාකර පොත් වෙළඳ හල හිමි ජී.පී.ඩී. ගේබ්‍රියල් මහතා අපට ආරාධනා කර සිටියේ ය. ඒ සඳහා ගත කිරීමට තරම් කාලයක් අපට නැති හෙයින් අපි එය විද්‍යොදය පිරිවෙණෙහි ආචාර්යවරයෙකු වූ ගලගම පණ්ඩිත ශරණංකර ස්ථවිර නමට පැවරීමු. ඒ ස්ථවිර නම විසින් විද්‍යොදය පිරිවෙණෙහි ශිෂ්‍ය වූ කිනිගම ඤාණතිලක, විතාරන්දෙනියේ පඤ්ඤාකිත්ති පිටකටුවන සුමනසිරි, අගලවත්තේ සංඝරතන යන භික්ෂූන්ගේ ද උපකාර ඇති ව සකස් කරණ ලද බවත්, ප්‍ර‍ථම සංස්කරණයන්හි වූ වැරදි රාශියක් ශුද්ධ කළ බවත් අපි දනිමු.

 

මේ සංස්කරණයෙහි වාක්‍ය මැද වරහන් ඇතුළ අංක වගයක් යෙදී තිබෙන බව පෙණේ. එය අපේ නියමයෙන් කරණ ලද්දකි. ඒ අංකයන්ගෙන් දක්වන්නේ යූ.පී. ඒකනායක මහතාගේ පොතෙහි පිටුවල අංක ය. අපේ ශ්‍රී සුමංගල ශබ්ද කොෂයට වචන සැපයූ එක් පොතක් නම් එකනායක මහතාගේ ඒ මිලින්දප්‍ර‍ශ්නය යි. මිලින්දප්‍ර‍ශ්නයෙන් ගත් වචන දැක්වීමේදී ඒ පොතෙහි පිටුවල අංක දැක්වීමු. මේ පොත පරිශීලනය කරණ අයට ඒ වචනය යෙදුනු වාක්‍යයන් බලා ගැණීමට වුවමනා වූ විට වැඩි අපහසුවක් නැති ව බලා ගත හැකි වීම එයින් ලැබෙන ප්‍රයොජනය යි. මේ පොතෙහි එක් එක් පිටුවෙහි මුදුනෙහි ද ඒ පිටුවෙහි ඇතුළත් කොටස අඩංගු වන එකනායක මහතාගේ පොතෙහි පිටුවෙහි හෝ පිටුවල අංක දක්වන ලදී.

මීට, වැලිවිටියේ සොරත ස්ථවිර.

 

ශ්‍රී බු.ව. 2499

ක්‍රි. ව. 1955 අගෝස්තු මස 1 දින විද්‍යොදය පිරිවෙණේ දී ය.


 

සූචි පත්‍ර‍ය

සංඥාපනය iii

බාහිර කථා 1

පූර්‍වයොගප්‍රශ්නය යි. 30

දෙවෙනි වර්‍ගය 47

තුන්වන වර්ගය 59

සතර වැනි වර්‍ගය. 73

පස්වන වර්ගය 81

සවැනි වර්ගය 85

සත්වන වර්ගය 90

පෘච්ඡා විසර්‍ජනා 101

මෙණ්ඩකප්‍ර‍ශ්නය 103

ආවර්ජනාප්‍ර‍තිබද්ධප්‍ර‍ශ්නය 119

දෙවදත්තප්‍ර‍ව්‍ර‍ජ්‍යාප්‍ර‍ශ්නය 127

විශ්වන්තර පෘථිවි කම්පා ප්‍ර‍ශ්නය 133

සිවිරාජ ප්‍ර‍ශ්නය 141

ගර්භාවක්‍රාන්තිප්‍ර‍ශ්නය 146

ශාසනායුඃප්‍ර‍ශ්නය 156

කර්‍මක්‍ෂයප්‍ර‍ශ්නය 161

විවෙකගුණප්‍ර‍ශ්නය 167

ත්‍රිමාසායුඃ පරිච්ඡෙදප්‍ර‍ශ්නය 169

සික්ඛාසමූහනන ප්‍ර‍ශ්නය 172

ආචාර්‍ය්‍යමුෂ්ටිප්‍ර‍ශ්නය 174

මරණභයප්‍ර‍ශ්නය 176

පිරිත් ප්‍ර‍ශ්නය 182

ප්‍ර‍ත්‍යයලාභප්‍ර‍ශ්නය. 186

අනාපත්තිප්‍ර‍ශ්නය 191

පිරිස් පරිහරණ ප්‍ර‍ශ්නය 192

අභෙද්‍යපිරිස් ප්‍ර‍ශ්නය 194

ශ්‍රෙෂ්ඨධර්‍ම ප්‍ර‍ශ්නය 195

උණුලේ නිර්ගත ප්‍ර‍ශ්නය 199

සෙල ප්‍ර‍ශ්නය. 208

මොඝපුරිසවාද ප්‍ර‍ශ්නය 214

අචෙතනවෘක්‍ෂප්‍ර‍ශ්නය 216

චුන්‍ද භත්ත ප්‍ර‍ශ්නය 218

ආමිසපූජාප්‍ර‍තික්‍ෂෙප ප්‍ර‍ශ්නය 224

පපටිකාපතිතප්‍ර‍ශ්නය 227

ශ්‍ර‍මණවිනිශ්චය ප්‍ර‍ශ්නය 230

උබ්බිල්ලාවිතප්‍ර‍ශ්නය 232

අහිංසානිග්‍ර‍හප්‍ර‍ශ්නය 233

සංඝපනාමිත ප්‍ර‍ශ්නය 235

මෞද්ගල්‍යාන සෘද්ධිවිභාගප්‍ර‍ශ්නය. 240

විනයප්‍ර‍තිච්ඡන්නප්‍ර‍ශ්නය. 242

මුසාවාදපාරාජිකාප්‍ර‍ශ්නය. 245

කාලවිලොකනප්‍ර‍ශ්නය 247

මරණසමුච්ඡෙද ප්‍ර‍ශ්නය 249

මෙත්තානිසංසප්‍ර‍ශ්නය 252

කුශලාකුශලකාරීවිශෙෂ ප්‍ර‍ශ්නය 261

අමරාදේවීප්‍ර‍ශ්නය 273

අර්හත් නිර්භයප්‍ර‍ශ්නය 276

සර්වඥානුමාන ප්‍ර‍ශ්නය 278

සෙනාසනප්‍ර‍ශ්නය 280

උදරසංයත ප්‍ර‍ශ්නය 282

බක්කුලත්‍ථෙර ප්‍ර‍ශ්නය 284

නිර්‍වාණමාර්ගප්‍ර‍ශ්නය 291

ලොමසකාශ්‍යපප්‍ර‍ශ්නය 293

ජොතිපාලමාණවකප්‍ර‍ශ්නය 297

ඝටීකාරවාසප්‍ර‍ශ්නය 299

බ්‍රාහ්මණරාජ ප්‍ර‍ශ්නය 301

සර්‍වඥගොචර ප්‍ර‍ශ්නය 305

බ්‍ර‍හ්මාරාධනා ප්‍ර‍ශ්නය. 315

ගුරුවිරහිතප්‍ර‍ශ්නය 319

එකබුද්ධධාරණීප්‍ර‍ශ්නය 322

සංඝපූජනීය ප්‍ර‍ශ්නය 326

ප්‍ර‍ව්‍ර‍ජ්‍යාවිශෙෂ ප්‍ර‍ශ්නය 332

දුෂ්කරක්‍රියා ප්‍ර‍ශ්නය. 334

සීරළු ප්‍ර‍ශ්නය 342

එකවෙදනා ප්‍ර‍ශ්නය 349

ගෘහස්ථපාරාජික ප්‍ර‍ශ්නය 351

ශ්‍ර‍මණදුශ්ශීල ප්‍ර‍ශ්නය 354

උදකප්‍රාණිප්‍ර‍ශ්නය 356

නිෂ්ප්‍ර‍පඤ්චප්‍ර‍ශ්නය 360

ද්‍වෙගතිප්‍ර‍ශ්නය 363

අසම්මොහ ප්‍ර‍ශ්නය 364

සිංහනාද ප්‍ර‍ශ්නය 367

‍නිර්වාණවිමතිච්ඡෙදනප්‍ර‍ශ්නය 370

නිර්වාණාකාශොපමා ප්‍ර‍ශ්නය 374

යක්‍ෂ ප්‍ර‍ශ්නය 375

සර්වඥසෘෂිප්‍ර‍ශ්නය 376

සූර්යොපක්ලෙශ ප්‍ර‍ශ්නය 377

ක්‍රෑරප්‍ර‍භා ප්‍ර‍ශ්නය 379

පුත්‍ර‍දාන ප්‍ර‍ශ්නය 380

ඤාණපරිපාක ප්‍ර‍ශ්නය 411

පුණ්‍යාධිකතරභාව ප්‍ර‍ශ්නය 418

ඥාතිප්‍රෙත පින්පෙත් ප්‍ර‍ශ්නය 422

මහාස්වප්න ප්‍ර‍ශ්නය 426

අකාලමරණ ප්‍ර‍ශ්නය 429

චෛත්‍ය ප්‍රාතිහාර්‍ය්‍ය ප්‍ර‍ශ්නය 437

නිර්‍වාණාභව්‍ය ප්‍ර‍ශ්නය 439

නිර්‍වාණ සාත ප්‍ර‍ශ්නය 441

නිර්‍වාණ අරූප ප්‍ර‍ශ්නය 444

නිර්‍වාණ සාක්‍ෂාත්කරණ ප්‍රශ්නය 451

නිර්‍වාණසිද්ධිප්‍ර‍ශ්නය 455

මහාඅනුමාන ප්‍ර‍ශ්නය 458

යොගි කථා ප්‍ර‍ශ්නය 511

නිගමනය 588

සිද්ධිරසතු 593

මිලින්‍දප්‍ර‍ශ්න ගැටපද විවරණය 594


 


 

සිතියම් සහිත

මිලින්‍දප්‍ර‍ශ්නය

 

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

බාහිර කථා

ශ්‍රී

 

සද්ධර්මචරචක්‍ර‍වර්ති වූ අප තිලෝගුරු භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධසර්වඥරාජොත්තමයානන් වහන්සේ සකල සත්වයන් කෙරෙහි පතළා වූ මහාකරුණාවෙන් සාරාසංඛ්‍යකල්ප ලක්ෂයක් මුළුල්ලෙහි සමත්‍රිංශත්පාරමීධර්මයන් පූරණය කොට වජ්‍රාසනාරූඪ ව වැඩ හිඳ පස්මරුන් පරාජය කොට ලොවුතුරා බුදු ව පන්සාළිස් හවුරුද්දක් මුළුල්ලෙහි කළ මනා සියලු ම බුද්ධකෘත්‍යයන් කොට නිමවා අශීතිවර්ෂයෙහි වෙසඟ පුර විසා නැකත ලත් අඟහරුවාදා දවස් කුසිනාරා නුවර මල්ලරජුන්ගේ ශාලවනොද්‍යානයෙහි වූ පිරිනිවන්මඤ්චකයෙහි වැඩ හිඳ, මතු පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි පවත්නා බුද්ධශාසනය බලා වදාරා සකලශාසනාභිවෘද්ධිවර්ධනය පිණිස ලොව පහළ වන මොග්ගලිපුත්තතිස්සත්ථෙර, මහාමහින්දාදි යතීන්ද්‍ර‍යන් හා ධර්මාශොක, තිෂ්‍ය, දුටුගැමුණු ආදි වූ නරෙන්ද්‍ර‍යන් ද දැක වදාළ පරිද්දෙන් ම,

 

මෙතැන් පටන් පන්සියයක් හවුරුදු අතික්‍රාන්ත වූ කල වජ්‍රොපම වූ තීක්ෂණ නුවණින් යුත් මිලිඳු නම් රජෙක් වෙයි. එදවස් සංස්කාර[2] විකාර ලක්ෂණ නිර්වාණ ප්‍ර‍ඥප්ති යන බුද්ධවිෂය වූ පඤ්චවිධඥෙයමණ්ඩලයෙහි අනුත්තරත්වය දැනීමෙන් හා දිව්‍යචක්ෂුරභිඥානය, දිව්‍යශ්‍රොත්‍ර‍ඥානය, පූර්වෙනිවාසානුස්මෘතිඥානය, පරචිත්ත-විජානනඥානය, සෘද්ධිප්‍රභෙදගත ඥානය, ආශ්‍ර‍වක්ෂයකරඥානය යන ෂඩභිඥාලාභිත්වයෙන් හා (යුක්ත), අර්ථ ධර්ම නිරුක්ති ප්‍ර‍තිභාන යන සිවුපිළිසිඹියායෙහි නො පැකිල පවත්නා ප්‍ර‍ඥාවාක්පටුත්වයක් ඇති ප්‍ර‍ඥාසෙනාධිපති වූ නාගසෙන නම් තෙරණු කෙනෙක් වෙති. ඔහු දෙදෙන මා විසින් යම් ධර්මවිනයක් සූක්ෂ්ම කොට දෙශනා කරණ ලද ද, ඒ ධර්මවිනය ප්‍ර‍ශ්න ඇසීම් විසඳීම් උපමාදර්ශන යුක්ති වශයෙන් ගෙණ ඇර දක්වා නිර්ජට නිර්ගුම්බ කොට අර්ථ විභජනය කෙරෙතියි. කියා දැක වදාරණ ලද්දා වූ ඒ මිලිඳු නම් මහරජානෝ සකල නගරාංගශ්‍රී සමෘද්ධියෙන් උතුම් වූ සාගල නම් පුරයෙහි දී මහාසමුද්‍ර‍ය කරා (2) පැමිණි ගංගා නම් නදිය යම් සේ ද, එපරිද්දෙන් නාගසෙන ස්ථවිරයන් වහන්සේ කරා පැමිණියාහ.

 

 

 

මිලිඳු මහරජානෝ මොහාන්ධකාරය දුරු කරන්නා වූ ප්‍ර‍ඥා නමැති ගිනිසුළ දරන්නා වූ විශෙෂවිචිත්‍ර‍ධර්මකථා ඇති නාගසෙන ස්ථවිරයන් වහන්සේ කරා පැමිණ අතිසූක්ෂ්මස්ථානාස්ථානගත වූ අනෙකප්‍ර‍කාර වූ ප්‍ර‍ශ්නයන් විචාළහ. ඒ ගම්භීරාර්ථයෙන් යුක්ත වූ හෘදයාංගම වූ කර්ණ රසායන වූ ලොමහර්ෂණය කරන්නා වූ අද්භූත වූ අභිධර්මවිනය දෙක්හි බැස ගැන්ම ඇත්තා වූ සකවාද පරවාදාදි දහසක් සූත්‍ර‍සමූහයෙන් නිමියා වූ මහරජහු විචාළ ප්‍ර‍ශ්නකථාවෝ ද නාගසෙන ස්ථවිරයන් වහන්සේගේ විසඳීම් කථාවෝ ද යන මේ පෘච්ඡා-විසර්ජනද්වයෙන් යුක්ත වූ උපමා විසින් නය විසින් කියන ලද්දා වූ නාගසෙනකථා තොමෝ ඉතා විචිත්‍ර‍ මැ යි. එබැවින් ඒ විසිතුරු ප්‍ර‍ශ්නකථාවෙහි ප්‍ර‍ඥාව පිහිටුවා චිත්තසන්තානය ප්‍ර‍සන්න කොට ගෙන කාංක්ෂාස්ථානයන් ප්‍ර‍දාලනය කරන්නා වූ අති සූක්ෂ්ම වූ ප්‍ර‍ශ්නයන් ශ්‍ර‍වණය කළ මැනැව. සිත්හි සකසා ධාරණය කට යුත්තේ ය. එයින් කීහ:-

 

මිලින්‍දො නාම සො රාජා සාගලායං පුරුත්තමෙ,

උපගඤ්ජි නාගසෙනං ගං්ගාව යථ සාගරං

ආසජ්ජ රාජා චිත්කථිං උක්කාධාරං තමොනුදං,

අපුච්ඡි නිපුණෙ පඤ්හෙ ඨානාඨානගතෙ පුථු.

පුච්ඡාවිස්සජ්ජනා චෙච ගම්භීරත්ථූපනිස්සිතා,

හදයඞ්ගමා කණ්ණසුඛා අබ්භුතා ලොමහංසනා.

අභිධම්මවිනයොගාළ්හා සුත්තජාලසමත්ථිතා,

නාගසෙනකථා චිත්රා ඔපම්මෙහි නයෙහි .

තත් ඤාණං පණිධාය හාසයිත්වාන මානසං,

සුණොථ නිපුණෙ පඤ්හෙ කඞ්ඛාඨාන විදාළනෙයි.

 

ඒ ප්‍ර‍ශ්නකථාව යම් පරිද්දෙකින් පාලික්‍ර‍මය නො වදරවා විස්තර වශයෙන් අසනු ලැබේ ද, එපරිද්දෙන් දක්වනු ලැබේ.

 

යොනක නම් දෙශයෙහි නදීපර්වතයෙන් ශොභමාන වූ රමණිය භූමිප්‍රදේශයන්ගේ විභාග ඇති, ආරාමොද්‍යානොපවනවාපිපුෂ්කරණියෙන් යුක්ත වූ, ශිශිරජලධාරානදීපර්වතාරණ්‍යයෙන් සිත්කලු වූ, නගරකාරකශාස්ත්‍ර‍ දන්නා බහුශ්‍රැතයන් විසින් නිර්මිත කරණ ලද්දා වූ, නසන ලද ප්‍ර‍තිපක්ෂපසමිතුරන් ඇති, පරශත්‍රැපීඩාවක් නැත්තා වූ, විවිධ විචිත්‍ර‍දෘඪඅට්ටාලවාසල්දොරටු ඇති, ප්‍ර‍වර ඉතා මහත් වාසල් හා තොරන් ඇති, ගම්භිර වූ දියඅගළින් හා ශ්වෙතවර්ණප්‍රාකාරපංක්තියෙන් වට කරණ ලද අන්තඃපුර ඇති, මනා කොට බෙදා කරණ ලද වීථි සතරමංසන්ධි චතුෂ් කොණවීථි හා ත්‍රිකොණවීථි ඇති, මනා ව සදන ලද අනෙකප්‍ර‍කාරවර භාණ්ඩපරිපූරිත අතුරුසල්පිල් ඇති, අනෙකප්‍ර‍කාර දානශාලා සියගණනින් ශොභමාන වූ, හිමගිරිශිඛරයාගේ සුවාසූදහසක් පර්වතකූටයන් වැනි වරභවනශතසහස්‍රයෙන් ප්‍ර‍තිමණ්ඩිත වූ, හස්ත්‍යශ්වරථපත්ති යන චතුරංගිණි සෙනාවෙන් (3) සමාකුල වූ, රූපකල්‍යාණාදි වූ සර්වලක්ෂණසම්පන්න ස්ත්‍රීපුරුෂ සමූහයා විසින් හැසිරෙණ ලද්දා වූ, ආකීර්ණ වූ මානුසික ජනයන් ඇත්තා වූ, ප්‍ර‍චුර වූ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර‍යන් ඇති, අනෙකප්‍ර‍කාර ශ්‍ර‍මණබ්‍රාහ්මණයන්ගෙන් හා සහ්‍යජනයන්ගෙන් ඝට්ටිත වූ, අනෙකප්‍ර‍කාරවිද්‍යාවත් නරවීරයන් විසින් සෙවනය කරණ ලද්දා වූ, කාසිකකොටුම්බරාදි නානාදෙශානීත අනෙකප්‍ර‍කාරවස්ත්‍රාපණයෙන් සම්පූර්ණ වූ, මනා ව ප්‍ර‍සාරිත යහපත් බොහෝ පුෂ්පගන්ධාපණගන්ධයෙන් සුගන්ධිත වූ, සකලජනයන් විසින් ප්‍රාර්ථනීය වූ බොහෝ රත්න ජාතීන් පිරී තිබෙන්නා වූ චතුර්දිශාභිමුඛ කොට මනා ව සදන ලද සල්පිල් ඇති, පවිත්‍ර‍ශීලී වූ කක්ෂපුටවණිග්ජනසමූහයා විසින් නිති හැසිරෙණ ලද්දා වූ, මාසකරජතස්වර්ණලොහශිලා යන පඤ්චප්‍ර‍කාර වූ වස්තුවෙන් සම්පූර්ණ වූ, මහත් සාරධන නිධානගත ව බබළන්නා වූ ගෘහපංක්ති ඇති, බොහෝ ධනධාන්‍යද්‍රව්‍යොපකරණයන් ඇත්තා වූ, සම්පූර්ණ වූ ස්වර්ණභාණ්ඩාගාරයන් ඇති, බොහෝ වූ ආහාරපානවර්ගයන් ඇත්තා වූ අනෙකප්‍ර‍කාර වූ ඛාද්‍යභොජ්‍යලෙය්‍යපෙය්‍යසායනීයයන් ඇති, උතුරුකුරු දිවයින සෙයින් යහපත් ශස්‍යයන් ඇති, නානා දෙශවාසීවණිග්ජනයන්ගේ වස්තුපුටයන් භෙදනය කරන්නා වූ, වෛශ්‍ර‍වණ නම් දිව්‍යරාජයාගේ ආලකමන්දා නම් දිව්‍යපුරය වැනි වූ, යොනකයන්ගේ සාගලපුර නම් නුවරෙක් ඇත.

 

සාගලපුර නම් නගරප්‍ර‍වරයෙහි සිට මුළුසක්වල නියපිටින් ගණුත් සමර්ථ වූ, හිරුසඳු දෙඅතින් වසා ගණුත් සමර්ථ වූ, මහකෙලනාගරාජයා විජිනිපත්‍ර‍ය කොට ගණුත් සමර්ථ වූ මහරහතන් වහන්සේ විසින් ඒ මිලිඳු නාගසෙන යන ප්‍ර‍ඥාසාගරයන් දෙදෙනාගේ පූර්වයොගය හා සර්වඥ විෂයානුකූල කොට විසඳූ ප්‍ර‍ශ්නකථාව නො පිරිහෙළා ප්‍ර‍කරණාරූඪ කොට තබන ලද්දේ ය. අපි මෙ තැන්හි අනන්තසර්වඥශාසනප්‍ර‍තිෂ්ඨා ධාරභූත වූ, ශ්‍රීලංකාද්වීපමධ්‍යයෙහි සමස්තරිපු-අවිලංඝනීය වූ, නදීපර්වත ශෛලකන්දරවනගහනයෙන් සුරක්ෂිත වූ පරික්ෂෙප ඇති, අසුරසංග්‍රාමයෙහි දු නො පසුබස්නා ක්‍රෑරතරසංග්‍රාමාවරයන් හා හස්ත්‍යශ්වරථ පත්ති යන චතුරංගසෙනාසමෘද්ධි ඇති, අනෙක රජතස්වර්ණවස්ත්‍රාභරණ හා නානාදෙශාගත අනෙකවස්ත්‍ර‍පුටයන් මුඤ්චනයෙන් සිඤ්චනය කොට ක්‍ර‍යවික්‍ර‍ය කරණ නොයෙක් සල්පිල් ඇති, මනොහර සුරඟනන් හා සදෘශ නරඟනන් හා නොයෙක් සුලභාන්නපානාදී ඛාද්‍ය විකෘති ඇති, අනෙකරාජකෘත්‍යසංවිධානයෙහි දක්ෂවිචක්ෂණ අංගම්මනාඛ්‍ය ග්‍රාමවරාභිජාත දිවාකරවික්‍ර‍මසිංහරාජපක්ෂාවර-නාමධෙයයක් ඇකි අග්‍රසෙනාධිපතීන් හා නොයෙක් අමාත්‍යරත්න ඇති, සර්වශාස්ත්‍රාර්ණව පාරගත ගරුතර අත්තරග්‍රාම නිවාසී භණ්ඩාර රාජගුරුවිද්‍යාරත්න පණ්ඩිතාචාර්යොත්තමයානන් හා ජ්‍යොතීර්ඥාගණකාදි නොයෙක් විද්වජ්ජනයන් ඇති, ප්‍ර‍වරසුන්දරාතිගම්භීරධීරසාරගුණයෙන් යුක්ත වූ පාථිවිශ්වරද්‍රැමෙන්ද්‍ර‍රාජයා සරා සිටි ස්වර්ණාංකුරද්වයයක් හා සාදෘශ්‍ය වූ සර්වලොකශාසනාධාරභූත වූ යුවරාජොත්තමශ්‍රීශොභා ඇති, අමරමන්දිර ප්‍ර‍තිභාගවරහවන ශතසහස්‍රයෙන් (4) සැදුම්ලත් විජයොත්ප්‍රාසාදය වැනි ශ්‍රීදන්තධාතුමන්දිරයෙන් ශොභමාන වූ, සකලනගරාංගශ්‍රීසමෘද්ධි සම්පන්න ශ්‍රීවර්ධනපුරයට ආසන්නයෙහි වූ ඉන්ද්‍රොපෙන්ද්‍ර‍හිරණ්‍යගර්භප්‍ර‍හෘතිනෛක සුරාසුරනිෂෙවිතසකලශාසනශ්‍රීභාරධාරි-ශරණංකරාභිධානසංඝරාජ ධුරන්ධරොත්තමයානන් වහන්සේ ප්‍ර‍මුඛ වූ නවාංගශාස්තෘශාසන ප්‍ර‍ගුණධාරණවිවරණවිභජනඋත්තනීකරණයෙහි විශදඥානගති ඇති දරමිටිපළ ධර්මරක්ෂිත මහානායකස්ථවිරයන් හා මධුරසතීර්ථග්‍රාම නිවාසි ධම්මක්ඛන්ධාභිධාන අනුනායකස්ථවිරයන් හා පිටකත්‍ර‍යධාරී වූ නොයෙක් යතීශ්වරයන්හට ද නිවාසස්ථාන වූ පෞෂථාරාමමහාවිහාරයෙහි සිට ඒ පූර්වප්‍ර‍ශ්නකථාව සිහල බසින් අර්ථවිවරණය කරම්හ. කාගේ ආරාධනායෙන් කරණු ලැබේ ද? යත්:-

 

මහාසම්මතපරම්පරානුයාතශුද්ධසූර්යවංශාභිජාතපරමබොධිසත්වාතාර සමස්තගුණගණාභරණවිභූෂිත වූ කීර්තිශ්‍රීරාජසිංහ භූපාලොත්තමයානෝ[3] ශ්‍රීශුද්ධ බුද්ධවර්ෂයෙන් දෙදාස් දෙසිය අනූවැනි වර්ෂයෙහි රාජ්‍යශ්‍රී පදප්‍රාප්ත ව දශරාජධර්මයෙන් රාජ්‍යය[4] කෙරෙමින් පරමබෞද්ධාගමධාරි ගෘහස්ථප්‍ර‍ව්‍ර‍ජිතසජ්ජනයන්ගෙන් අමෘතශ්‍රීප්‍ර‍දායක වූ සුගතාගම අසා ප්‍ර‍සන්න ව සර්වඥශාසනාභිවෘද්ධිවර්ධනය කෙරෙමි යි යන කරුණාද්ධ්‍යාශයයෙන් මනොහර වෛඩූර්‍ය්‍යමුක්තාමාණික්‍යාදී වරධන සහිත මහාමාත්‍ය්‍යන් දෙශාන්තරයෙහි යවා උපාලිස්ථවිර ප්‍රමුඛ වූ අතිරෙක දශවර්ගිකමහාසංඝයා සියාම්දෙශයෙන් ගෙන්වා අනන්තපූජොත්සව‍ පවත්වා ලක්දිව්වැසි සියදහස්ගණන් මහණපැවිදි උපසම්පදා කරවා සකල ලංකාද්වීපයෙහි සමස්තාරිෂ්ටපාපාන්ධකාරය විධ්වංසනය කෙරෙමින් ජිනශාසන[5] ප්‍ර‍දීපය දීප්තිමත් කොට පිටකත්‍ර‍යධාරී මහාසංඝයා ලවා බුද්ධ වචනය හදාරවා ශ්‍ර‍වණ ප්‍ර‍ගුණධාරණයෙන් බහුශ්‍රැත ව (?) සර්වඥරාජොත්තමයානන් වහන්සේගේ ශීලසමාධිප්‍ර‍ඥාවිමුක්තිවිමුක්තිඥානදර්ශනාදි අරූපකායදර්ශනයෙහි ආදාසතලයක් හා සදෘශ වූ සුන්දරතරධර්මකථා ඇති මිලින්දප්‍ර‍ශ්නය නම් පාලිප්‍ර‍කරණයක් ඇසුම් ගෙණ අනාගතයෙහි පහළ වන රාජරාජමහාමාත්‍යාදීන්ගේ ශ්‍ර‍ද්ධාප්‍ර‍ඥා දෙක විශද කරවනු පිණිස දුරනුබොධ වූ පාලිභාෂාව පෙරළා හෙලදිව්බසින් අර්ථවිවරණය කරණු කැමැත්තෝ වූහ.[6] ලොකශාසනාධාර, නෛකරාජෙභකුම්භ ප්‍ර‍දාලනෛකකණ්ඨිරවෙන්ද්‍ර‍ශ්‍රීමත් මෙම කීර්තිශ්‍රීරාජසිංහ පෘථිවිශ්වර නරෙන්ද්‍රොත්තමයානන්ගේ ආරාධනාවෙන් අර්ථ විවරණය කරණු ලැබේ. ඒ ශ්‍රොතෘජනමනඃප්‍ර‍සාදජනක වූ ධර්ම කථාවෙන් මිලිඳු නාගසෙන යන දෙදෙනාගේ පූර්වකුශලකර්මය හා ප්‍ර‍ශ්නකථාව ෂට්ප්‍ර‍කාරයකට බෙදා කිය යුතු යි. හේ මෙ සේ මැ යි:- පූර්වයොගය, මිලිඳුපැනය, ලක්ෂණප්‍ර‍ශ්නය, මෙණ්ඩකප්‍ර‍ශ්නය, අනුමානප්‍ර‍ශ්නය, ඔපම්මකථා ප්‍ර‍ශ්නය යි. එහි මිලිඳු පැන ලක්ෂණප්‍ර‍ශ්නය, විමතිච්ඡෙදනප්‍ර‍ශ්නය යි කියා විවිධ වේ. මෙණ්ඩකප්‍ර‍ශ්නය ද මහාවර්ගය, යොගිකථාප්‍ර‍ශ්නය යි කියා විවිධ වේ. පූර්වයොගය යන්නෙන් ඔවුන්ගේ පෙර කළ කුශල කර්මය කියන ලදී. කේ සේ ද යත් ?:-

 

(5) යට ගිය දවස කාශ්‍යප නම් භාග්‍යවත් බුදුරජානන්වහන්සේගේ බුද්ධශාසනය පවත්නා කල්හි ගංගාවක් සමීපයෙහි එක් මහාවිහාරයෙක් වූයේ ය. ඒ විහාරයෙහි බොහෝ භික්ෂුසංඝයා වහන්සේ වැඩ වසනසේක. ඒ වෙහෙර වසන වත්පිළිවෙත් පුරණ ශීලාචාරාදිගුණසම්පන්නභික්ෂූන් වහන්සේලා උදය නැගී සිට කුරු මුසුන් ගෙණ බුදුගුණ ආවර්ජනා කෙරෙමින් මළුව හැමද කැලි කසළ එකතු කෙරෙති. ඉක්බිති එක් භික්ෂු කෙනකුන් වහන්සේ එක් සාමණෙරනමකට කියන සේක් එම්බා සාමණෙරය, මෙසේ අව මැනැව. මේ හැමදපු කැලිකසළ දමව යි කී සේක. ඒ සාමණෙරයෝ එබස් නො ඇසූ කෙනකුන් සේ යන සේක. ඒ තෙරුන්වහන්සේ දෙවෙනි තුන්වැනිවත් කුණු දමව යි කිය දී ත් නො ඇසූකන් ව යනසේක් ම ය. එසේ හෙයින් ඒ භික්ෂූන්වහන්සේ මේ නො කීකරු සාමණෙරකෙනෙකැයි කිපී හික්මවනු පිණිස මුසුන්මිටින් පහරක් දුන් සේක. පහර කෑ ඉක්බිති භයින් තැති ගෙණ ඒ හෙරණුන්දෑ හඬහඬා කීකරුතැනක් සේ කුණු ළඟට ගොස් උක්කුටිකයෙන් හිඳ කරකැවී පහර දුන් තැනැත්තන් වහන්සේගේ මුහුණ යටැසින් බලබලා කුණුගොඩ උකා ගෙණ ගොස් බැහැර දමමින් පතනසේක් මේ කුණු දැමුවා වූ කුශලකර්මයෙන් යම් තාක් මම නිවණට පැමිණෙම් ද, ඒ තාක් කල් මේ අතරතුරෙහි උපනුපන් ජාතියෙහි මධ්‍යාහ්නසූර්යමණ්ඩලය මෙන් මහෙශාඛ්‍ය වෙම්ව යි, මහත් වූ තෙජස් ඇති වෙම්ව යි කියා පළමු වන ප්‍රාර්ථනාව පැතූසේක. කුණු දමා පැන් නාන පිණිස ගංතොටට ගොස් ගංගාවෙහි ගර්ගර[7] යන අනුකරණය පවත්වන්නාවූ[8] රළවේගය දැක නැවත පතනසේක් යම් තාක් මම නිර්වාණයට පැමිණෙම් ද, ඒ තාක් කල් මේ අතරතුරෙහි උපනුපන් තැන මේ ක්ෂය නො වන රළවේගය මෙන් ක්ෂය නො වන්නා වූ ස්ථානොත්පත්තිකප්‍ර‍ඥා ඇති වෙම්ව යි, ක්ෂය නො වන්නා වූ ප්‍ර‍ඥාව ඇති වෙම්වයි කියා දෙවනුවත් ප්‍රාර්ථනා කළසේක. මෙසේ සසංස්කාරිකකුශලචිත්තයෙන් ප්‍රාර්ථනා කොට උන් කල්හි මළුව හැමදි ඒ භික්ෂූන් වහන්සේ ද මුස්න මුසුන්හල තබා ජලස්නානය පිණිස ගංතොටට යන සේක් සාමණෙරයන්දෑගේ ප්‍රාර්ථනාව අසා, මේ සාමණෙර තෙම මා විසින් ප්‍රයොග කරණ ලදු ව කුණු දැමූ පමණෙකින් මෙසේ ප්‍රාර්ථනා කෙරෙයි. කුණු දැම්මෙව්වා වූ මට කුමක් සිද්ධ නො වේ දැ යි සිතා උන්වහන්සේත් ප්‍රාර්ථනා කරණ සේක් යම් තාක් මම නිර්වාණයට පැමිණෙම් ද, ඒ තාක් කල් අතරතුරෙහි උපනුපන් තන්හි මේ ගඟ[9] රළ වේගය මෙන් ක්ෂය නො වන්නා වූ අප්‍ර‍මාණ වූ ප්‍ර‍ඥාවෙන් යුක්ත වෙම්ව යි. මොහු විසින් විචාළ විචාළ සියලු ම ප්‍ර‍ශ්නකථාවන් නිරවුල් කරන්ට- වෙළුම් හරණට-සමර්ථ වෙම්ව යි කියා ප්‍රාර්ථනා කළසේක.

 

මෙසේ ප්‍රාර්ථනා කළා වූ ඒ භික්ෂු සාමණෙර දෙදෙනා වහන්සේ දිව්‍යලොකයෙහි ද මනුෂ්‍යලොකයෙහි ද සැරිසරන්නාහු එක් බුද්ධාන්තරයක් ගෙවූහ[10]. නැවත ඔවුන් දෙදෙනා වහන්සේගෙන් සාමණෙරතෙම ජම්බුද්වීපයෙහි යොන්රට සාගල නම් නුවර මිලිඳු නම් (6) රජ වී ය. ඒ රජතෙම ඉතා පණ්ඩිත ය. ව්‍යක්ත ය. ප්‍ර‍ඥාවත් ය. සියලු කටයුත්තෙහි දක්ෂ ය. අතීතානාගතවර්තමාන වූ ස්වකීය මන්ත්‍ර‍ණයොගවිධානක්‍රියාවන් කරණ කල්හි පරීක්ෂා කොට ම කරණසුලු ය. එතෙකුත් නො වෙයි. ඒ රජහු විසින් බොහෝ වූ ශිල්පශාස්ත්‍රයෝ උගන්නා ලද්දාහු වෙති. හේ කවර ශාස්ත්‍රයෙක් ද? යත්:- වෙදශාස්ත්‍ර‍ය, ස්මෘතිශාස්ත්‍ර‍ය, ගණනය, කාමශාස්ත්‍ර‍ය, නීතිශාස්ත්‍ර‍ය, වෛශෙෂිකය, ගණිතය, ගාන්ධර්වය, වෛද්‍යකය, චතුර්වේදය, පුරාණය, ඉතිහාසය, ජ්‍යොතිර්ඥාය, ඉන්ද්‍ර‍ජාලය, හෙතුය, මන්ත්‍ර‍ණය, යුද්ධය, ඡන්දොලක්ෂණය, ඇඟිල්ලෙන් ඇල්වීමය (?) යන අදෘශ්‍යාංජනාදිවංචාශාස්ත්‍ර‍යන්හි හා එකුන්විසි ශාස්ත්‍ර‍ වචනයකින් වාදාරොපණය කරණ එකුන්විසිවාදීන් විසින් ඉක්මවිය නො හැකි වූයේ ය. නො ඉවසිය හැකි තෙජස් ඇති වූයේ ය. බොහෝ වූ නොයෙක් තීර්ථකයන්ට අග්‍ර‍ය යි කියනු ලැබෙයි. සියලු ජම්බුද්වීපයෙහි මිලිඳුරජහු හා සදෘශ වූ බලයෙන්[11] ජවයෙන් ශූරභාවයෙන් ප්‍ර‍ඥාවෙන් කිසිවෙක් නො ම ඇති වී ය. සකලසම්පත්තියෙන් ආඪ්‍ය වි ය. මහත් ධන ඇත්තේ ය. අනන්ත වූ බාලවාහන ඇත්තේ යි.

 

මෙසේ අපමණ වූ ශ්‍රීසමෘද්ධියෙන් රාජ්‍යය[12] කරණ මිලිඳු මහරජානන් එක් දවසක් අනන්තබලවාහනයෙන් යුත් චතුරංගිණී සෙනාව ගණන් බලා සෙනාසන්නිපාතය දක්නා කැමැති ව නුවරින් නික්ම ගොස් නුවරින් පිටත මහඑළිකතරක දි සෙනාව ගණන් කරවා, කථාවාදයෙන් වාද කරන්නා වූ ලොකායතවිතණ්ඩශාස්ත්‍ර‍ ජනසල්ලාපප්‍ර‍වෘත්ති ඇති, කොතූහල නම් විපරීතදෘෂ්ටියෙන් යුක්ත වූ ඒ මිලිඳු නම් මහරජතෙම සූර්යදෙවියා බලා ඉතා දහවල් බැවින් අමාත්‍යයන්ට ආමන්ත්‍ර‍ණය කොට, සගයෙනි, සවස්වන්ට තව බොහෝ වේලා ය. දැන් ම නුවරට ගොස් කුමක් කරමෝ ද? මා හා සමග කථා කරන්ට හැකිවූ, මාගේ කාංක්ෂා දුරු කරන්ට සමර්ථ වූ, සංඝසමූහයන් ඇති, ගණපිරිස් ඇති, ගණාචාර්ය වූ, නොහොත් රහත්ඵලය සම්‍යක්සම්බුද්ධත්වය ලොවට හඟවා වසන්නා වූ, යම්කිසි පණ්ඩිත වූ ශ්‍ර‍මණකෙනෙක් හෝ බ්‍රාහ්මණකෙනෙක් හෝ ඇද්ද? යි විචාළේ ය. මෙසේ කී කල පන්සීයක් යොන්ඇමතියෝ මිලිඳු නම් රජහට මෙපවත් දැන්වූහ:- දෙවයන් වහන්ස, මෙලොව බුදුකම් කරණ ශාස්තෘහු සදෙනෙක් ඇත. පූරණ කාශ්‍යප ය, මක්ඛලිගොසාල ය, නිගණ්ඨනාතපුත්‍ර‍ ය, සංජයබෙල්ලට්ඨිපුත්‍ර‍ ය, අජිතකෙසකම්බල ය, කකුදකාත්‍යායනය යන ඒ සදෙනා වහන්සේ සංඝප්‍ර‍ධානසේක. ගණ ප්‍ර‍ධානසේක. ගණාචාර්යසේක. සියල්ල දන්නාසේක. යස පිරිවර ඇති සේක. තීර්ථකසේක. බොහෝ ජනයාට සාධුසම්මත වූ සිද්ධස්ථානයන් වැනි සේක. දේවයන් වහන්ස, නුඹවහන්සේ වැඩක් කැමැති සේක් වී නම් ඒ ශාස්තෘන් කරා වැඩ වදාළ මැනැව. ඔවුන්ගෙන් ප්‍ර‍ශ්න අසා වදාළ මැනැව. කාංක්ෂාවන් දුරු කොට ගත මැනැවැයි දැන්වූහ.

 

මෙසේ කී ඉක්බිත්තෙන් ඒ මිලිඳු රජ්ජුරුවෝ පන්සීයක් යොන් ඇමැතියන් විසින් පිරිවරණ ලදු ව අසුන් යෙදූ උතුම් රථවාහනයකට පැන නැඟී පූරණකාශ්‍යපයා නම් තැනෙක්හි ද, එතැනට ගියහ. ගොස් පූරණකාශ්‍යපයා (7) හා සමග සතුටු ව නැවත නැවතත් සමගි සතුටු විය යුතු වූ නැවැත නැවැතත් සිහි කට යුතු වූ කථාසල්ලාපයන් කොට නිමවා එකත්පසෙක සිටියාහ. එකත්පස් ව උන්නා වූ මිලිඳු රජ්ජුරුවෝ පූරණකාශ්‍යපයා හට මෙසේ කීහ:- ස්වාමීනි, කාශ්‍යපයානන් වහන්ස, මේ ලොකය කවරෙක් රක්ෂා කෙරේ ද? යි විචාළහ. මහරජානෙනි, මේ සත්ව ලොකයා මහාපෘථිවිය රක්ෂා කරන්නේ යයි කී ය. එසේ වී නම්, ස්වාමීනි, කාශ්‍යපයානන් වහන්ස, මහාපෘථිවිය සත්වලොකයා රකී නම්, නැවැත කුමක් නිසා අවීචිමහානරකයට යන්නා වූ සත්වයෝ පොළොව ඉක්ම යන්නාහු ද? සමහර කෙනෙක් පොළොව පළාගෙණත් යන්නාහු ය. පොළොව සතුන් රකී නම්, අවීචියට යන්නාවුන් නො රක්නේ කුමක් නිසා දැ?යි විචාළහ. මෙසේ මිලිඳු මහාරජානන් කී කල පූරණකාශ්‍යප නම් බුදුබැව්සොරානෝ පිටිකර පහරක් කෑවා සේ ඇස් උඩ ඉඳුවා ගෙණ උගුරෙහි ගත් රළු කැවිල්ලක් සේ ගිලපියන්ටත් නො හැකි වූහ.[13] වමාරන්ටත් නො හැකි වූහ.1 පක්ෂ බිඳුනු පක්ෂියකු සේ පත්තක්ඛන්ධ ව දන්නා බණක් නැති බැවින් තූෂ්ණිම්භූත ව තමහට ම නින්දා බෙණෙමින් අවිද්‍යාධ්‍යානයට සමවැදුනාක් මේන කර බා ගෙණ හුන්නාහ. ඒ විකාරය දුටුවා වූ මිලිඳු මහරජානෝ අනේ! මොහු දන්නා බණෙක් නැත. ලොව රවටන මහසොරෙකැයි මහාකොපී ව පලා ගියහ.

 

නැවැතත් මිලිඳුමහරජානෝ මක්ඛලිගොසාලයන් කරා ගොස් පන් සියයක් ඇමැතියන් සමග එකත්පසෙක හිඳ ආදර දක්වා මක්ඛලිගොසාලයා හට මේ මතු කියන ප්‍ර‍ශ්නකථාව කීහ:- ස්වාමීනි, මක්ඛලීගොසාලයෙනි, කුශලාකුශලකර්මයෝ නම් ඇති දෙයෙක් ද? සුචරිත දුශ්චරිත කර්මයන්ගේ ඵලවිපාකයෙක් ඇද්ද?යි විචාළහ. එකල මක්ඛළීගොසාලතෙම තමාගේ අඥානතායෙහි මහත්ත්වය හඟවන්නා සේ [14]ගර්විත ව කියනුයේ මහරජානෙනි, කුමක් කියන නියා ද? කුශලාකුශල කර්මයෝ නම් නැත. සුකෘතදුෂ්කෘතකර්මයන්ගේ ඉෂ්ටානිෂ්ටඵලවිපාකයෙක් නම් නැත. මහරජානෙනි, මේ ලොකයෙහි යම් කෙනෙක් රජ වූවාහු ද, ඔහු නැවතත් පරලොවට ගොසිනුත් රජ ම වෙති. යම් කෙනේක බ්‍රාහ්මණ වූවාහු ද, වෙළෙඳ වූවාහු ද, ගොවි වූවාහු ද, චණ්ඩාල වූවාහු ද, මල්පර (?) ආදී කුණු දමන්නාහු ද, ඔහු නැවැත පරලොවට ගොසිනුත් බ්‍රාහ්මණවෙළෙඳගොවිචණ්ඩාලපුක්කුස ව උපදනාහු වෙති. එසේ හෙයින් කුශලාකුශලකර්මයන්ගෙන් කුමන ප්‍රයෝජනයෙක් ද? යි කීයේ ය. මෙසේ මක්ඛලීගොසාලයන් කී බස් අසා මිලිඳු මහරජානෝ කියන්නාහු ඉදින්, ස්වාමීනි, මක්ඛලිගොසාලයෙනි, මේ ලොකයෙහි ක්ෂත්‍රිය බ්‍රාහ්මණවෛශ්‍ය-ශුද්‍ර‍චණ්ඩාල පුක්කුසයෝ පරලොවට ගොසිනුත් රජ බමුණු වෙළෙඳගොවිචණ්ඩාල පුක්කුස ව ම උපදනාහු වෙත් නම්, කුශලාකුශලකර්මයන්ගෙන් කමෙක් නැත. එසේ හෙයින්, ස්වාමීනි, මක්ඛලී ගොසාලයෙනි, යම් කෙනෙක් මේ ලෝකයෙහි දී අත් කපන ලද්දාහු ද, පරලොවට ගොසිනුත් ඔහු නැවැතත් අත් සිඳිනා ලද්දාහු ම වෙති. යම් කෙනෙක් පා සිඳුනා ලද්දාහු ද, ඔහු පා සිඳුනා ලද්දාහු ම වෙති. යම් කෙනෙක් කන්නාසා සිඳිනා ලද්දාහු ද, ඔහු කන්නාසා සිඳින ලද්දාහු ම වෙති යි කීහ. මෙසේ මිලිඳු මහරජානන් කීකල්හි (8) මක්ඛලිගොසාලයා කිසිවක් කියා ගත නො හී තුෂ්ණීම්භූත ව හුන්නේ ය.

 

එකල මිලිඳුමහරජානෝ කියන්නාහු:- එම්බා මක්ඛලිගොසාලයෙනි, නුඹ පළමු කොට ම මහරජ, ඇසුව මනා ප්‍ර‍ශ්නයක් මාගෙන් නො විචාළ කල අනික් කියන්නෝ කවුරු ද? යි මහත් වූ ගර්විතය කෙළේ මේ බණ කියාපියන්ට ද? නුඹගේ ශාස්තෘකමෙහි තත්ත්වය මට හොඳින් ම හැඟින. නුඹගේ තෙල අයා ගත් කටින් කියන බණ නුඹ සේ අඥාන ඥානහීනලාමකයන්ට මුත් අප වැන්නන්ට කියන තරම් බණෙක් නො වෙයි. අහෝ! බඩක් නිසා බොරුවෙන් ලොවක් නසන නියා ය යි මහත් කොපී ව හුන් පළින් නැඟිට ඔබමොබ[15] බලන මිලිඳුරජහට නැවැත මෙබඳු වූ සිතිවිල්ලක් ව, තමන්ගේ පන්සියයක් පමණ යොන් ඇමැතියන්ට ආමන්ත්‍ර‍ණය කොට, තුච්ඡො වත භො ජම්බුදීපො පලාපො වත භො ජම්බුදීපො යනාදීන් එම්බා ඇමැතියෙනි, මේ සියලු දඹදිව මා හා සමග කථා කරන්නට මාගේ කාංක්ෂා විනොදනය කරන්නට සමර්ථ වූ යම්කිසි ශ්‍ර‍මණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ව්‍යක්තතරපණ්ඩිතයන්හු නැති බැවින් සියලු දඹදිව එකාන්තයෙන් ම සිස් වූයේ ය. පින්වත්නි, පණ්ඩිත ගොචර වූ බසක් කියන්නට නැති බැවින් එකාන්තයෙන් ම සියලු දඹදිව බොල් වී ය යි කියා සිතා නැවත මිලිඳු රජ්ජුරුවෝ අමාත්‍යයන්ට ආමන්ත්‍ර‍ණය කොට පින්වත්නි, චන්ද්‍ර‍කාන්තියෙන් බබළන්නා වූ රාත්‍රිතොමෝ එකාන්තයෙන් ම සිත්කලු වූවා ය. කිමෙක් ද? අද ප්‍ර‍ශ්න අසඅන්නට ශ්‍ර‍මණයකු කරා හෝ බ්‍රාහ්මණයකු කරා හෝ එළඹෙමු ද? කවරෙක් මා හා සමග කථා කරන්නට කාංක්ෂා දුරු කරන්ට හැකි වේ ද? යි කීහ.

 

මෙසේ මිලිඳු මහරජානන් කී කල අමාත්‍යයෝ තූෂ්ණිම්භූත ව රජ්ජුරුවන්ගේ මුහුණ බලබලා සිටියාහු ය. එවිට මිලිඳු මහරජානෝ සිවුරඟසෙනඟ පිරිවරා රථවාහනයකට පැන නැඟී නුවර වැඩ තමන්ගේ ඇතුළුමාලිගාවට වන්හ.

 

එසමයෙහි වනාහි සාගලපුරනුවර දොළොස්අවුරුද්දක් මුළුල්ලෙහි ශ්‍ර‍මණබ්‍රාහ්මණගෘහපතිපණ්ඩිතවරුන්ගෙන් ශූන්‍ය වූයේ ය. යම් තෙනක ශ්‍ර‍මණබ්‍රාහ්මණගෘහපතිපණ්ඩිතවරයෝ වාසය කරන්නාහු ය යි කියා ඇසුයේ වී නම් රජ්ජුරුවෝ එතැනට ගොස් ඔවුන් අතින් ප්‍ර‍ශ්න අසන්නාහ. ඒ සියලු පණ්ඩිතවරු ප්‍ර‍ශ්න විසඳීමෙන් රජ්ජුරුවන් සිත් ගෙණ ගිවිස්වා ගන්ට නො හැකි වූවාහු ඒ නුවර හැර යම් දිසාභාගයකට හෝ යනු කැමැතියාහු නම් ඒ දිසාභාගයට හෝ යන්නාහු ය. යම් කෙනෙක් අනික් දිසාවකට නො යන්නාහු ද, ඒ සියලුදෙන ම කුමක් වුවත් ඒ නුවර ම තූෂ්ණිම්භූත ව සිටින්නාහු ය. භික්ෂූන් වහන්සේලා බොහෝ සෙයින් හිමාලයට ම වඩනාසේක්ලා ය.

 

එසමයෙහි වනාහි සියක්කොටියක් රහතන් වහන්සේ හිමාලයෙහි රක්ඛිතතල නම් පර්වතයෙහි වසනසේක. ඉක්බිති ආයුෂ්මත් වූ අස්සගුත්ත නම් මහතෙරුන් වහන්සේ තුච්ඡො වත භො ජම්බුදීපො යනාදීන් කියන්නා වූ මිලිඳුමහරජ්ජුරුවන්ගේ වචනය දිව්‍යශ්‍රොත්‍ර‍ධාතුවෙන් අසා යුගන්ධරපර්වත මුදුනට භික්ෂුසංඝයා රැස් (9) කරවා ඇවැත්නි, මිලිඳු රජ්ජුරුවන් සමග කථා කරන්ට, කාංක්ෂාවිනොදනය කරන්නට බල ඇති කිසි භික්ෂුනමක් මේ මැද ඇද්ද? යි කියා ‍කෙළසියයක් භික්ෂූන්ගෙන් විචාළ සේක. මෙසේ විචාළ කල සියක්කොටියක් පමණ මහ රහතුන් වහන්සේ කිසිවක් නො වදාරා වැඩ හුන් සේක. දෙවෙනි වත් තුන්වැනි වත් විචාළ දීත් තුෂ්ණීම්භූත වූවාහු ය. ඉක්බිති ආයුෂ්මත් වූ අස්සගුත්තමහතෙරුන් වහන්සේ භික්ෂුසංඝයාට මෙසේ කී සේක:- ඇවැත්නි, තවුතිසා භවනයෙහි වෛජයන්තප්‍රාසාදයට පූර්වදිග්භාගයෙන් කෙතුමතී නම් විමානයෙක් ඇත. ඒ විමානයෙහි මහාසෙන නම් දිව්‍ය පුත්‍රයෙක් වෙසෙයි. හෙතෙම ඒ මිලිඳුරජ්ජුරුවන් හා සමඟ කථා කරන්නට ද, කාංක්ෂා විනොදනය කරන්නට ද, පූර්වවාසනාබලයෙන් සමර්ථ වන්නේ ය යි වදාළසේක.

 

ඉක්බිති ඒ ඇසූ කෙළසියයක් රහතන් වහන්සේ යුගන්ධර පර්වතයෙන් අන්තර්ධාන ව ශක්‍ර‍භවනයෙහි පහළ ව පෙළ සැදී වඩනට පටන් ගත්සේක. ශක්‍රදෙවෙන්ද්‍ර‍තෙම ඒ භික්ෂූන් දුටුයේ ය. දුරින් ම වඩින්නා දැක මහත් වූ ආදරයෙන් පෙරමගට ගොස් පසඟ පිහිටුවා වැඳ සංඝනායක වූ ආයුෂ්මත් අස්සගුත්තමහතෙරුන් වහන්සේ යම් තැනක ද, එතැනට එළඹියේ ය. එළඹ ආයුෂ්මත් වූ අස්සගුත්තමහතෙරුන් වහන්සේ යම් තැනක ද, එතැනට එළඹියේ ය. එළඹ ආයුෂ්මත් වූ අස්සගුත්තමහතෙරුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටියා වූ ශක්‍රදෙවෙන්ද්‍රතෙම ආයුෂ්මත් අස්සගුත්තමහතෙරුන් වහන්සේට මේ වචනය සැලකෙළේ ය. ස්වාමීනි, දෙව්ලොවට පැමිණ වදාළ භික්ෂුසංඝ තෙමේ ඉතා මහත්සේක. සංඝයා වහන්සේට මම කැපකරු ආරාමිකයෙක්මි. කවර දෙයකින් ප්‍රයෝජන ද? මා විසින් කළ මනා දෙය කවරේ ද? යි විචාළේ ය. මෙසේ විචාළ ඉක්බිති ආයුෂ්මත් අස්සගුත්ත මහතෙරුන් වහන්සේට ශක්‍රදෙවෙන්ද්‍ර‍යන්ට මෙපවත් කීසේක: මහරජානෙනි, ජම්බුද්වීපයෙහි සාගලපුරනුවර වසන මිලිඳු නම් මෙම රජ්ජුරුවෝ දුරාසද වූ දුප්පසහ වූ වාදයෙන් යුක්තයහ. බොහෝ වු තීර්ථකයන්ට අග්‍ර‍ ය යි කියනු ලැබෙයි. ඒ රජතෙම භික්ෂුසංඝයා කරා එළඹ දෘෂ්ටිවාදයෙන් ප්‍ර‍ශ්න අසා භික්ෂුසංඝයා වෙහෙසන්නේ ය යි වදාළසේක.

 

එකල නැවත ශක්‍රදෙවෙන්ද්‍රතෙම ආයුෂ්මත් වූ අස්සගුත්ත මහ තෙරුන් වහන්සේට මෙ පවත් කීයේ ය:- ස්වාමීනි, මිලිඳුනම් වූ රජ්ජුරුවෝ මේ තවුතිසා දෙව්ලොවින් චුත ව ගොස් මිනිසුන් කෙරෙහි සාගලපුරනුවර උපන්නෝ ය. ස්වාමීනි, කෙතුමතී නම් විමානයෙහි වනාහි මහාසෙන නම් දිව්‍යපුත්‍රතෙම වෙසෙයි. ඒ මහාසෙන දිව්‍යපුත්‍රතෙම ඒ මිලිඳු රජ්ජුරුවන් හා සමඟ කථා කරන්නට ද, කාංක්ෂා විනොදනය කරන්නට ද සමර්ථ වන්නේ ය. එසේ හෙයින් ඒ දිව්‍යපුත්‍ර‍යානන්ට මිනිස් ලොව උපදනා පිණිස අපි යාච්ඤා කර සිටුම්හ යි කියා නැවැත ශක්‍ර‍ දෙවෙන්ද්‍රතෙම භික්ෂුසංඝයා පෙරටු කොට ගෙණ කෙතුමතී නම් විමානය කරා ගොස් මහාසෙන දිව්‍යපුත්‍ර‍යා දෑතින් අල්වා වැළඳ ගෙණ සිට මෙ පවත් දැන්වූයේ ය:- පින්වත් වූ නිදුකානෙනි, භික්ෂු සංඝයාවහන්සේ තොප මනුෂ්‍යලොකොත්පත්තිය පිණිස යාච්ඤා කර සිටිනාසේකැයි, කීයේ ය. (10) එබස් අසා මහාසෙන දිව්‍යපුත්‍රතෙම කියනුයේ- ස්වාමීනි, මට කෘෂිවාණිජ්‍යාදි කර්ම බහුල වූ මනුෂ්‍යලොකයෙන් ප්‍රයොජන නැත, මනුෂ්‍යලොකය ඉතා තියුණු වූ දුක් ඇත්තේ ය. එසේ හෙයින්, ස්වාමීනි, මම මේ දිව්‍යලොකයෙහි දී මතුමත්තෙහි දිව්‍යලොකොත්පත්තික ව දිවසැපත් වළඳා බණ අසා රහත් ව පිරිනිවන් පාමියි කීයේ ය. දෙවෙනි වත් තුන්වැනි වත් ශක්‍රදෙවෙන්ද්‍ර‍යා යාච්ඤා කර සිටි කල්හි මහාසෙන දිව්‍යපුත්‍රතෙම මෙසේ කීයේ ය:- අනේ! ශක්‍ර‍ ස්වාමීනි, මට කර්ම බහුල වූ මනුෂ්‍යලොකයෙන් ප්‍රයෝජන නැත. මනුෂ්‍යලෝකය බලවත් දුක් ඇත්තේ ය. ශක්‍ර‍ස්වාමීනි, මම මේ දිව්‍යලොකයෙහි දී ම මතු මත්තෙහි උත්පත්තික ව ඇවිද පිරිනිවන් පාමි යි කීයේ ය.

 

ඉක්බිත්තෙන් ආයුෂ්මත් අස්සගුත්තතෙරුන් වහන්සේ මහාසෙන දිව්‍යපුත්‍ර‍යාට මේ කාරණය වදාළසේක:- එම්බා නිදුක් වූ මහාසෙනදිව්‍යරාජයානෙනි, මේ සදිව්‍යලොකය සහිත වූ මනුෂ්‍යලොකය නො හැර ම දිවැසින් බලන්නා වූ අපි මිලිඳු රජ්ජුරුවන්ගේ නපුරු වූ වාදය බිඳ හැර බුද්ධශාසනයට සංග්‍ර‍හ කරන්නට සමර්ථ කෙනෙකුන් තොප හැර නුදුටුම්හ.[16] එහෙයින් නිදුකානෙනි, භික්ෂුසංඝයා වහන්සේ තොපට යාච්ඤා කර සිටිනා සේක. සත්පුරුෂයානෙනි, ඉතා යහපත. මනුෂ්‍ය ලොකයෙහි ඉපද දශබලධාරීසර්වඥයන් වහන්සේගේ ශාසනය පන්දහසක් හවුරුදු නිරවුල් ව පවත්නා ලෙසට ආධාර ව ශාසනයට බලේ ලා දුන මැනැවැයි වදාළසේක. මෙසේ මහතෙරුන් වහන්සේ වදාළ කල්හි මහාසෙනදිව්‍යපුත්‍රතෙම මම වනාහි මිලිඳු රජ්ජුරුවන්ගේ වාදය බිඳ බුද්ධ ශාසනයට බලේ ලන්නට සමර්ථ වන්නෙමි යි කියා තුටුපහටු වූ ඔද වැඩියා වූ ප්‍රීති සිත් ඇති ව සාධු ස්වාමීනි, මනුෂ්‍යලොකයෙහි උපදිමි යි කියා ප්‍ර‍තිඥා දුන්නේ ය. ඉන් පසු ඒ කෙළසියයක් රහතුන් වහන්සේ දිව්‍යලොකයෙහි දී ඒ කටයුත්ත තීරණය කොට ගෙණ තවුතිසාදිව්‍ය ලොකයෙහි දී අන්තර්ධාන ව හිමාලයපර්වතයෙහි රක්ඛිතතල නම් ගල් තලායෙහි පහළ වූවාහු ය.

 

මෙසේ වැඩ වදාළ ඉක්බිත්තෙන් ආයුෂ්මත් අස්සගුත්ත මහතෙරුන් වහන්සේ භික්ෂුසංඝයාට මෙපවත් වදාළසේක. ඇවැත්නි, මේ සංඝයා අතුරෙහි භික්ෂූන්ගේ සන්නිපාතයට නො පැමිණියා වූ කිසි නමෙක් ඇද්ද? යි කියා විචාළසේක. මෙසේ විචාළ කල්හි අන්‍යතර භික්ෂූන් වහන්සේ නමක් ආයුෂ්මත් අස්සගුත්ත මහතෙරුන් වහන්සේට මේ කාරණය කීසේක:- ඇත; ස්වාමීනි, ආයුෂ්මත් රොහණ මහතෙරුන් වහන්සේ මෙයින් සත්වැනි දවස්හි හිමාලය පර්වතයට වැඩ නිරොධසමාපත්තියට සමවන්සේක. උන්වහන්සේගේ සමීපයට දූත නමක් හැර වදාළ මැනැවැයි දැන්වූසේක. එකල ආයුෂ්මත් රොහණ ස්ථවිරයන් වහන්සේ ද ඒ ක්ෂණයෙහි ම නිරොධසමාපත්තියෙන් නැඟී, මහාසංඝ තෙම මා දක්නා කැමැති සේකැ යි කියා දැක උන් තැනින් (නැඟිට) සෘද්ධියෙන්[17] හිමවත්පර්වතයෙන් අන්තර්ධාන ව රක්ඛිතතලයට රැස් ව සිටි කෙළසියයක් රහතුන්ගේ පෙරට පහළ වූසේක.

 

ඉක්බිත්තෙන් ආයුෂ්මත් අස්සගුත්තමහතෙරුන් වහන්සේ (11) ආයුෂ්මත් රොහණ ස්ථවිරයන්ට මෙපවත් කීසේක:- කිමෙක් ද, ඇවැත්නි, රොහණ ස්ථවිරයෙනි, බුද්ධශාසනයට පසු බැස විනාස වන කල්හි සංඝයා විසින් කළ මනා කට යුතු නුදුටුයෙහි දැ?යි විචාළසේක. ස්වාමීනි, ඒ බව මා විසින් සිහි නො කරණ ලද්දේ යයි කී සේක. එසේ වී නම්, ඇවැත්නි, රොහණ ස්ථවිරයෙනි, ඒ වැරැද්දට දඬුවම් කරවයි කීසේක. ස්වාමීනි, කවර දඬුවමක් කෙරෙම් දැ? යි විචාළ සේක. ඇවැත්නි, රොහණ ස්ථවිරයෙනි, හිමාලයපර්වතය අසල කජංගල නම් බ්‍රාහ්මණගමක් ඇත. ඒ බමුණුගම මහත් ධනසම්පත් ඇති සෝනුත්තර නම් බ්‍රාහ්මණයෙක් වෙසෙයි. ඔහුගේ බැමිණියන් කුස නාගසෙන නම් බ්‍රාහ්මණකුමාරයෙක් උපදනේ ය. එහෙයින් ඇවැත්නි, රොහණ ස්ථවිරයෙනි, තෙපි දශමාසාධික වූ සත්හවුරුද්දක් වූ බමුණු ගෙදරට පිඬු පිණිස යව. පිඬු පිණිස ගොස් නාගසෙන කුමාරයා සත් හවුරුදු වූ කල ගිහිගෙයින් ගෙණ හැර මහණ කළ මැනැව. ඒ කුමාරයා පැවිදි වූ කල්හි මේ දඬුවමින් මිදෙන්නෙහි ය යි කීසේක. එබසට ආයුෂ්මත් වූ රොහණ මහතෙරුන් වහන්සේ ද යහපතැයි කියා පිළිගත් සේක.

 

මහාසෙන නම් වූ දිව්‍යපුත්‍ර‍යානෝ දෙවුලොවින් චුත ව සොණුත්තර නම් බ්‍රාහ්මණයාගේ භාර්යාවන් කුස පිළිසිඳ ගත්තාහ. පිළිසිඳ ගැණීම හා සමඟ ආශ්චර්යාද්භූත වූ ධර්මයෝ තුන් දෙනෙක් පහළ වූහ. කවර ආශ්චර්යධර්මයෙක් ද? යතහොත්- සියලු ආයුධ භාණ්ඩයෝ දිලිහී ගියාහු ය. අග්‍ර‍ශස්‍යයෝ පැසී ගියාහු ය. මහාමෙඝය මනා ව වර්ෂා කෙළේ ය.

 

ආයුෂ්මත් රොහණ මහතෙරුන් වහන්සේ ද ඔහුගේ ප්‍ර‍තිසන්ධි ග්‍ර‍හණය පටන් දසමසක් අධික වූ සත්හවුරුද්දක් මුළුල්ලෙහි ඒ බමුණු ගෙදරට පිඬු පිණිස වඩිනාසේක් එක් දවසක වත් සැන්දක් පමණ බතක් වත් කෙණෙස්සක් පමණ කැඳ වත් බැස වැඳීමක් වත් අත නඟා වැඳීමක් වත් ආදරගෞරව කට යුත්තක් වත් නො ලත්සේක. නැවැත කුමක් ලත්සේක් ද? යත්:- ආක්‍රොෂ පරිභව ම ලත්සේක. ස්වාමීනි, බොහෝ කල් සිටිනාහ යි වචන මාත්‍ර‍යකුත් කියන්නා වූ කෙනෙක් නො වූහ. දශමාසයක් අධික වූ සත්හවුරුද්දක් ඇවෑමෙන් එක්දවසක් ගෙයින් දොරට කර පෙවූ කෙල්ලක් මඳක් කරුණා උපදවා නපුරුසිත් හැර වහන්ස, අරුණු යයි යන වචනයෙන් කිසිවක් නො ලබනබව හඟවා කී වචන මාත්‍ර‍යක් ලත්සේක. රොහණතෙරුන් වහන්සේත් එබසට සතුටු ආකාර දක්වා වඩනට පටන් ගත්සේක.

 

එදවස් සොණුත්තර නම් බමුණු ද පිටත කිසියම් කර්මාන්තයකට ගොස් එනුයේ පෙර මග දී ප්‍ර‍සන්නාකාරයෙන් වඩනා තෙරුන් වහන්සේ දැක කිමෙක් ද? පින්වත් මහණ, අපගේ ගෙට ගියෙහි ද?යි විචාළේ ය. එසේ ය බ්‍රාහ්මණයෙනි, ලදුම්හ යි වදාළසේක. එකල ඒ බ්‍රාහ්මණයා නො සතුටුව වහා ගෙට ගොස් කථා කොට මෙතැනට පිඬු සිඟා ආ පැවිද්දාහට කිසිවක් දුන්නු දැ? යි විචාළේ ය. ඒ අසා ගෙයි සිටියෝ අපි කිසිවක් නුදුම්හයි කීහ. ඒ අසා බ්‍රාහ්මණතෙම අහෝ! මේ ශ්‍ර‍මණයෝ බොරු (12) නො කියම්හ යි ලොව රවටන්නාහ. කිසිවක් නුදුන් අපගෙන් ලද්දෙමි යි මහබොරුවක් කීහ යි දෙවෙනි දවස් අද ශ්‍ර‍මණයාහට මුසාවාදයෙන් නිග්‍ර‍හ කෙරෙමි යි කියා ඝරද්වාරයෙහි ම බලා සිටියේ ය. තෙරුන් වහන්සේ ද දෙවෙනි දවස් බ්‍රාහ්මණයාගේ ගෘහ ද්වාරයට සම්ප්‍රාප්ත වූසේක. බ්‍රාහ්මණතෙම තෙරුන් වහන්සේ දකිමින් ම මෙසේ කීයේ ය:- මහණ, තෙපි ඊයේ දවස අපගේ ගෙයි දී කිසිවක් නො ලැබුයේ ම ලදුම්හ යි බොරු කීවහු ය. ශ්‍ර‍මණ වූ තොපට මුසාවාද කීම වටී ද? යි කියා මුසාවාදයෙන් නිග්‍ර‍හ කෙළේ ය.

 

එකල තෙරුන් වහන්සේ වදාරණසේක් බ්‍රාහ්මණය, අපි තොපගේ ගෙයි දශමාසාධික වූ සත්හවුරුද්දක් හැමදවස් ම සිඟා අරුණු ය[18] යන වචනමාත්‍ර‍යකුදු නො ලැබ ඊයේ දවස් අතිච්ඡථ භන්තෙ යන වචන මාත්‍ර‍යක් ලදුම්හ. නැවැත මේ වචන සංග්‍ර‍හ මාත්‍ර‍ය පිණිස මෙසේ ලදුම්හ යි කී බසක් මිස බොරු නො කීම්හ යි වදාළසේක.

 

ඒ අසා බ්‍රාහ්මණතෙම සිතනුයේ මේ සත්පුරුෂගුණ ඇති ශ්‍ර‍මණයෝ වචන පටිසන්ථාරමාත්‍ර‍යකුදු ලැබ මහජනයා මධ්‍යයෙහි ලදුම්හ යි ප්‍ර‍ශංසා කෙරෙති. එසේ කල කන දෙයක් වත් භොජනයක් වත් අනික් කිසිදෙයක් වත් ලැබ කෙසේ නම් ප්‍ර‍ශංසා නො කෙරෙද් ද? යි කියා පැහැද තමහට ප්‍රයෝජන පිණිස පිළියෙල කරණ ලද බතින් බත්සැන්දක් හා ඊට සෑහෙන ව්‍යඤ්ජනයක් දෙවා මේ අද දුන් ආහාර පමණක් ම හැම දවස් ම නුඹ වහන්සේ අප ගෙන් ලබා වදාළ මැනැවැයි කියා ආරාධනා කෙළේ ය.

 

නැවැත ඒ බ්‍රාහ්මණතෙම දවස් පතා එළඹෙන්නා වූ තෙරුන් වහන්සේගේ ඉන්ද්‍රියසංයමාදී වූ ඉරියාපථය දැක බොහෝ සෙයින් පැහැද තෙරුන් වහන්සේට නිරන්තරයෙන් තමාගේ ගෙයි දී ම ආහාර වළඳන පිණිස යාච්ඤා කර සිටියේ ය. තෙරුන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් ඉවසා දවසින් දවස භක්තකෘත්‍යය කොට වඩිමින් මඳක් මඳක් ඕහට බුදුබණ කියකියා වඩනාසේක. ඒ බ්‍රාහ්මණභාර්යාවෝ ද දසමස් ඇවෑමෙන් පුත්‍ර‍යකු වැදූහ. ඕහට නාගසෙන ය යි නම් වී ය. ඒ තෙම අනුක්‍ර‍මයෙන් වැඩෙමින් සත්හැවිරිදි වී ය. ඉක්බිති නාගසෙනකුමාරයාගේ පියානෝ නාගසෙන කුමාරයාහට මෙපවත් කීහ:- දරුව, නාගසෙනයෙනි, මේ බ්‍රාහ්මණගොත්‍රයෙහි උගත මනා ශික්ෂාවන් උගණුව යි කීහ. පියානන් වහන්ස, මේ බ්‍රාහ්මණගොත්‍රයෙහි ශික්ෂාවෝ නම් කවරහු ද? යි විචාළේ ය. දරුව, නාගසෙනයෙනි; වෙදයෝ වනාහි තුන් දෙනෙක. ඒ වෙදත්‍ර‍ය ශික්ෂා නම් වෙයි. අවශෙෂ වූ ශිල්පියෝ ශිල්ප නම් වෙති යි කීහ. එසේ වී නම් පියානෙනි, උගන්නෙමි යි කීයේ ය.

 

ඉක්බිති සොණුත්තර නම් බ්‍රාහ්මණයානෝ ද අකුරු කරවන්නා වූ ආචාර්යබ්‍රාහ්මණයක්හට ගුරුපඬුරු පිණිස දහසක් කහවණු දෙවා ඇතුළු ප්‍රාසාදයෙහි වූ එක් ගෙයක එක්අතෙක ඇඳක් පණවා දී ගුරුවර බ්‍රාහ්මණයා හට මෙසේ කී ය:- බ්‍රාහ්මණය, තෙපි මේ මාගේ පුත්‍ර‍යාහට මන්ත්‍ර‍යන් හදාරවයි කීහ. එසේ නම්, ශිෂ්‍යපුත්‍ර‍ය, මන්ත්‍ර‍යන් උගණුව යි කියා ගුරුබ්‍රාහ්මණතෙම මන්ත්‍ර‍ හදාරවන්නේ ය. නාගසෙනකුමාරයා විසින් එක්වරක් කියවා ගත් පමණකින් ම ත්‍රිවෙදාංගයෝ හෘදයංගත (13) කරණ ලදහ. වාචුග්ගත කරණ ලදහ. මනා කොට ම ධාරණය කරණ ලදහ. මනා ව ව්‍යවස්ථා කරණ ලදහ. මනා කොට ම සිත්හි කරණ ලද්දාහු යි. එක්වරක් කියවා ගත් පමණෙකින් ම වෙදත්‍රයෙහි ද, නිඝණ්ටු ශාස්ත්‍ර‍ සහිත වූ කාව්‍යාලංකාරයෙහි ද, ඉතිහාසය පස්වැනි කොට ඇති සාක්ෂරප්‍රභෙදය යි කියන ලද ඡන්දශ්ශාස්ත්‍රයෙහි[19] ද ප්‍ර‍ඥචක්ෂුස පහළ වූයේ ය. එසේ හෙයින් පද නම් ග්‍ර‍න්ථවිශෙෂය වූ ශබ්දශාස්ත්‍ර‍ය දන්නේ ය. ව්‍යාකරණශාස්ත්‍ර‍ය දන්නේ ය. දොළොස්දහසක් ග්‍ර‍න්ථ ඇති ලොකායතමහාපුරුෂලක්ෂණ ශාස්ත්‍ර‍ය දැනීමෙහි ද අනූන ව සම්පූර්ණ වූ ශිල්ප ඇත්තේ වී ය. ඉක්බිති නාගසෙන කුමාරතෙම තමාගේ පියානන්ට මෙපවත් කී ය:[20]- පියානෙනි, මේ අපගේ බ්‍රාහ්මණගොත්‍රයෙහි මීට වඩා උගත යුතු ශිල්පයෝ ඇද්ද? නොහොත් මෙපමණෙක් දැ? යි විචාළේ ය. දරුව, නාගසෙනයෙනි, අපගේ මේ බ්‍රාහ්මණගොත්‍රයෙහි මීට වඩා උගත මනා ශිල්පශාස්ත්‍රයෙක් නැත. ශික්ෂණය කට යුතු වූ ශිල්පයෝ මෙපමණෙක් ම ය යි කීයේ ය. ඒ අසා නැවත නාගසෙන කුමාරයෝ තමාගේ ගුරුවරබ්‍රාහ්මණයාහට තමාගේ පාඩම් දී සමු ගෙණ ප්‍ර‍වරප්‍රාසාදයට නැඟී පූර්වවාසනාබලයෙන් මෙහෙයන ලද සිත් ඇති ව රහොගත ව විවෙකයෙන් යුක්ත ව හිඳ තමන් උගත් ශිල්පශාස්ත්‍ර‍යාගේ ආදිමධ්‍යපරියොසානය නුවණින් සලකා බලමින් ආදියෙහි වත් මධ්‍යයෙහි වත් කෙළවර වත් මඳකුත් සාරත්වයක් නො දැක තුච්ඡා වත භො ඉමෙ වෙදා, පලාපා වත භො ඉමෙ වෙදා යනාදීන් මා උගත් වෙදශාස්ත්‍රයෝ අසාර ය. නිස්සාර යයි කලකිරී විපිළිසර ව නො සතුටු වූවාහ. එසමයෙහි වනාහි ආයුෂ්මත් වූ රොහණ ස්ථවිරයන් වහන්සේ වත්තනිය නම් සෙනාසනයෙහි වැඩ හුන්සේක් නාගසෙන කුමාරයාගේ විතර්කය පර සිත් දන්නා නුවණින් දැක සකසා හැඳ පෙරෙව කයින් සිවුරු හා අතින් පාත්‍ර‍ය ගෙණ චත්තනිය නම් සෙනාසනයෙන් අන්තර්ධාන ව කජංගල නම් බ්‍රාහ්මණගම පෙරටු ව පහළ වූ සේක.

 

නාගසෙනකුමාරතෙමේ ද තමන්ගේ වහසල්දොරකඩ සිටියේ[21] ආයුෂ්මත් රොහණස්ථවිරයන් වහන්සේ දුටුයේ ම ය. දුරින් ම එන්නා දැක සතුටු ව ඔද වැඩියා වූ සිත් ඇති ව ප්‍ර‍මුදිත ව ප්‍රීතිසොම්නස් උපදවා මේ ප්‍ර‍ව්‍ර‍ජිතයන් වහන්සේ වත් කිසි සාරදෙයක් දන්නාසේක් වී නම් ඉතා යෙහෙකැයි සිතා ආයුෂ්මත් වූ රොහණ ස්ථවිරයන් වහන්සේ යම් තැනක ද, එතැනට ගියේ ය. ගොස් ආයුෂ්මත් රොහණතෙරුන් වහන්සේට මෙපවත් කීයේ ය. ශ්‍රෙෂ්ඨයානෙනි, මෙබඳු වූ හිස මුඩු ව කාෂායවස්ත්‍ර‍ හඳනා වූ තෙපි කවුරුදැ? යි විචාළේ ය. දරුව, මම නම් ප්‍ර‍ව්‍ර‍ජිතයෙමි යි වදාළහ. ශ්‍රෙෂ්ඨයානෙනි, නුඹවහන්සේ කුමක් කරණ කොට ගෙණ ප්‍ර‍ව්‍ර‍ජිත නම් වනසේක් දැ? යි විචාළේ ය. දරුව, පවිටු වූ ක්ලේශමලයන් පලවාපියන්නට පැවිදි වීමි. එහෙයින්, දරුව, මම ප්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍ව්‍ර‍ජිත නම් වීමි යි වදාළසේක. නිදුකානන්වහන්ස, නුඹවහන්සේගේ හිසකේ යම් සේ සෙස්සවුන්ගේ මෙන් දික් නො වී ලුහුඬු වන්ට කාරණ කවරේ ද? යි විචාළේ ය. ඒ අසා වදාරණසේක් දරුව, දික් වූ හිසකේ දැරීමෙන් සොළොස්පලිබොධ කෙනෙකුන් දැක හිසකේ රැවුල කපා හැර පැවිදි වීමි යි. ඒ සොළස නම් කවරේ ද? දික්හිසකේ ඇති කල (14) අලංකාර කරවන පළිබොධය, සැරහෙන පළිබොධය, තෙල් ගාන පළිබොධය, ඉස්සෝධන පළිබොධය, මල් පලඳින පළිබොධය, සුවඳ ගල්වන පළිබොධය, දුම් ආදියෙන් සුවඳ කවන පළිබොධය, අරළුසුණු ගල්වන පළිබොධය, නෙල්ලි අඹරා ගාන පළිබොධය, තෙලින් රඳන[22] පළිබොධය, බඳින පළිබොධය, පණාවෙන් පීරණ පළිබොධය, අන්දම් තිබීම් පලිබොධය[23] අවුල් හරිණ පළිබොධය, උකුණන් හරිණ පළිබොධය යන මේ පසළොස් පළිබොධ හා හිසකේ වැගිර ගිය කල සෝක කෙරෙති. ක්ලාන්ත වෙති. හඬති. ලෙහි පැහැර හඬති. සිහි මුළාබවට පැමිණෙති යන මේ මහා පළිබොධය ද යන සොළොස් පළිබොධයන් වැලඳ සිටියා වූ මනුෂ්‍යයෝ අතිසුඛුම සියලු ම ශිල්පශාස්ත්‍ර‍යන් නසන්නාහු ය යි වදාළසේක. එසේ ය, නිදුකානන්වහන්ස, හඳනා පොරෝණා වස්ත්‍රයෝත් නුඹගේ යම් සේ සෙස්සවුන්ගේ මෙන් නො වෙති. ඊට කාරණ කවරේ ද? යි විචාළේ ය. දරුව, එයිත් කියමි යි, ගිහීන් විසින් පැලඳිය යුතු වූ සියල්ලන් විසින් කැමැති වන්නා වූ යහපත් වූ වස්ත්‍රයෝ පඤ්චකාම නිශ්‍රීත ය, එහෙයින් දරුව, යම්කිසි භයක් උපදී නම්, වස්ත්‍ර‍ නිසා උපදනාහ. ඒ භය කාෂායවස්ත්‍ර‍ හඳනාහට නො වෙයි. ඒ නිසා මාගේ වස්ත්‍රයෝත් සෙස්සන්ගේ යම්සේ ද එසේ නො වෙති යි වදාළසේක.

 

ඒ අසා මඳක් සතුටු ව කියනුයේ නිදුකානන් වහන්ස, නුඹවහන්සේ ශිල්පශාස්ත්‍ර‍ නම් දෙයක් දන්නාසේක් දැ? යි විචාළේ ය. එසේ ය, දරුව, මම ශිල්පශාස්ත්‍ර‍ත් දනිමි. ලොකයෙහි උතුම් වූ යම් මන්ත්‍රයෙක් ඇද්ද? ඒ මන්ත්‍ර‍යත් දනිමි යි වදාළසේක. නිදුකානන් වහන්ස, ඒ උතුම් වූ මන්ත්‍ර‍ය මටත් දෙන්නට පුළුවන් ද? යි විචාළේ ය. එසේ ය, දරුව, පුළුවනැයි වදාළසේක. එසේ වී නම් මට මන්ත්‍ර‍ය දුන මැනැවැයි යාච්ඤා කොට සිටියේ ය. දරුව, දැන් ශිල්ප දෙන්ට කල් නො වෙයි. ඇතුළු ගෙදරට පිඬු පිණිස ආම්හ යි වදාළසේක.

 

ඉක්බිති නාගසෙනකුමාරයෝ ආයුෂ්මත් රොහණතෙරුන් වහන්සේගේ අතින් පාත්‍ර‍ය ගෙණ ගෙට වඩා ගෙණවුත් ප්‍ර‍ණීත වූ ඛාද්‍යභොජ්‍ය ආහාරයන් ස්වහස්තයෙන් ම වළඳවා පෙරැත්ත කොට වැඩිවැඩියෙනුත් වළඳවා, ඉක්බිති පාත්‍රයෙන් ඉවත් කරණ ලද අත් ඇති ආයුෂ්මත් රොහණ තෙරුන් වහන්සේට මෙපවත් කීහ:- නිදුකානෙනි, මට දැන් ඉතින් උතුම් වූ මන්ත්‍ර‍ය දුන මැනැවැයි කියා ඉල්වූයේ ය. එබසට තෙරුන් වහන්සේ කියනසේක් එම්බා දරුව, තෙපි යම් දවසෙක අප සේ ම නිෂ්පලිබොධ වෙමින් මවුපියන් අනුදන්වා ගිවිස්වා ගෙණ මා විසින් ගත් ප්‍ර‍වුජිත වෙශය ගන්නහු ද, ඒ දවස් තොපට මන්ත්‍ර‍ය දෙමි යි වදාළසේක. ඉක්බිති නාගසෙනකුමාරයෝ ද මෑනියන් පියානන් කරා ගොස් අම්ම, පියානෙනි, මේ මහණුන් වහන්සේ ලොකයෙහි උතුම් වූ යම් මන්ත්‍රයෙක් ඇද්ද, ඒ මන්ත්‍ර‍ය දනිමි යි කියනසේක. තමන් ලඟ පැවිදි නුවූවක්හට නො ම දෙන සේක. මම උන්වහන්සේ ලඟ පැවිදි ව මන්ත්‍ර‍ය උගන්නෙමි යි කීහ. මෙසේ කී නැවත ඔහුගේ මවු පියෝ සිතන්නාහු- අපගේ පුත්‍ර‍යා පැවිදි වෙලා වත් ඒ උතුම් වූ මන්ත්‍ර‍ය ගෙණ පසු ව සිවුරු හැර එන්නේ යයි සිතා, පුත්‍ර‍ය, මන්ත්‍ර‍ය ගණුවයි කියා අවසර දුන්නාහු ය. ඉක්බිති (15) රොහණ තෙරුන් වහන්සේ නාගසෙනකුමාරයා කැඳවා ගෙණ යම් තැනක වත්තනිය නම් සෙනාසනය ද, යම් තැනක විජම්භවස්තුව ද, එතැනට එළඹිසේක. එළඹ විජම්භවස්තුවෙහි වූ සෙනාසනයෙහි එක්රැයක් වැස දෙවෙනි දවස් රක්ඛිතතලය යම් තැනෙක්හි ද, එතැන්හි එළඹිසේක. එතැන්හි එළඹ එහි වසන කෙළසියයක් රහතුන් මධ්‍යයෙහි නාගසෙන කුමාරයා පැවිදි කළ සේක. පැවිදිවූ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ වනාහි ආයුෂ්මත් රොහණ තෙරුන් වහන්සේට මෙපවත් කීසේක:- ස්වාමීනි, නුඹ වහන්සේගේ මහණවෙශය මා විසින් ගන්නා ලද්දේ ය. දැන් මට උතුම් මන්ත්‍ර‍ය දුන මැනවයි කී සේක.

 

ඉක්බිති ආයුෂ්මත් රොහණ ස්ථවිරයන් වහන්සේ සිතනසේක් මම වනාහි නාගසෙනසාමණෙරයා පළමු කොට සූත්‍රාන්ත ධර්මයෙහි හෝ අභිධර්මයෙහි හෝ කවර ධර්මයෙක්හි හික්මවම්දෝ හො?යි සිතා මේ නාගසෙනයෝ පණ්ඩිතයෝය, සැප සේ ම අභිධර්මපිටකය උගන්නට සමර්ථ වන්නෝ යයි දැන පළමුකොට ම අභිධර්මයෙහි හික්මවා ලූ සේක. ආයුෂ්මත් වූ නාගසෙන සාමණෙරයානෝ ද, අභිධර්මයට පටන් ගෙණ කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකෘතා ධම්මා යනාදීන් තිකදුක ප්‍ර‍තිමණ්ඩිත වූ ධම්මසංගණිප්‍ර‍කරණය ද, ඛන්ධවිභංගාදී වූ අටළොස් විභංගයෙන් ප්‍ර‍තිමණ්ඩිත වූ විභංගප්‍ර‍කරණය ද, සංගභො අසංගභො යනාදීන් තුදුස් ආකාරයෙන් විභාග කළා වූ ධාතුකථාප්‍ර‍කරණය ද, ඛන්ධක ප්‍ර‍ඥප්තිය, ආයතනප්‍ර‍ඥප්තිය යනාදීන් ෂඩ් ආකාරයකින් විභාග කළා වූ පුද්ගලප්‍ර‍ඥප්තිය ද, සකවාදයෙහි පන්සියයක් සූත්‍ර‍ ද, පරවාදයෙහි පන්සියයක් සූත්‍ර‍ දැ යි මෙසේ සූත්‍ර‍දහසක් එක් කොට විභාග කළා වූ කථාවස්තු ප්‍ර‍කරණය ද, මූලයමක ඛන්ධයමක ය යි යනාදීන් දශප්‍ර‍කාරයකින් විභාග කළා වූ යමකප්‍ර‍කරණය ද, හෙතුප්‍ර‍ත්‍යය, ආරම්මණප්‍ර‍ත්‍යය ය යි යනාදීන් සූවිසිආකාරයකින් විභාග කළා වූ පට්ඨානප්‍ර‍කරණය දැ යි මෙසේ සියලු ම ඒ අභිධර්මපිටකය එක වරක් වදාළා වූ පමණකින් ම එකාක්ෂරයකුත් නො පිරිහෙළා වණපොත් කොට අර්ථයන් ඉගෙන ගෙණ ගුරුන්වහන්සේට කියනසේක්:- ස්වාමීනි, වැඩ සිටිය මැනව. නැවැත නො කියවන්න. මෙපමණකින් ම මම නුඹ වහන්සේට වණපොත් දෙමි යි කීසේක. එබස් අසා ගුරුන් වහන්සේ කියනසේක් නාගසෙනයෙනි, කෙළසියයක් රහතන් මධ්‍යයෙහි නො බා ව ම පිරිවහාපියන්නට හැකි දැ?යි විචාළසේක. ස්වාමීනි, පිරිවහාපියන්නට හැක්කෙමියි කියා නැවත ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ යම් තැනක කෙළසියයක් රහතුන් වහන්සේ වසනසේක් ද, එතැනට එළඹිසේක. එළඹ දැක නමස්කාර කොට කෙළසියයක් රහතුන් වහන්සේට මෙපවත් දැන්වූ සේක. ස්වාමීනි, මම වනාහි කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකෘතා ධම්මා ය යි කියා එක දවස් එක විටක් කියෙව්වා වූ මේ පදත්‍ර‍යයෙහි සියලු ම ඒ අභිධර්මපිටකය ප්‍ර‍ක්ෂෙප කොට බහා ලා විස්තරවශයෙන් ම පිරිවහා වණපොත් දෙමියි කී සේක. ඒ අසා මහරහතන් වහන්සේ සාධු සාධු, නාගසෙනයෙහි, පාඩම් හදාරවයි වදාළසේක.

 

ඉක්බිති ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ අවසර ගෙණ (16) සත් මසකින් සප්තප්‍ර‍කරණය විස්තරවශයෙන් ම වණපොත් දී මහරහතුන් වහන්සේට ඇස්වූ[24] සේක. ඒ ක්ෂණයෙහි ම මහපොළොව සතසහස්‍ර‍රාවයෙන් ගුගුරා කම්පා වි ය. සදෙවුලොව දෙවියෝ සාධුකාර දුන්හ. පසළොස් බඹලොව බ්‍ර‍හ්මසෙනාව අත්පොළසන් දුන්හ. දිවසඳුන්සුණු වසින්ට පටන් ගත. දිව්‍යමදාරාමල් වර්ෂා කළාහුය. ඒ ආශ්චර්යය දුටු මහරහතුන් වහන්සේ නොයෙක් ස්තුතිපූජා කළාහු ය. ඉන් පසු මෑත භාගයෙහි කෙළ සියයක් රහතුන් වහන්සේ එක් ව සම්පූර්ණ වූ විසිවයස් ඇති ආයුෂ්මත් නාගසෙනසාමණෙරයන් රක්ඛිත නම් තලයෙහි දී උපසම්පදා කළාහු ය. උපසම්පදා වූ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ වනාහි එදවස් රාත්‍රියගේ ඇවෑමෙන් උදය කාලයෙහි සකසා හැඳ පාසිවුරු ගෙණ උපාධ්‍යායයන් වහන්සේ හා සමඟ ඇතුළු ගමට පිඬු පිණිස වඩනාසේක්, මෙබඳු වූ සිතිවිල්ලක් ඉපදවූසේක:- මාගේ උපාධ්‍යායයන් වහන්සේ අවශෙෂ වූ බුද්ධවචනයන් තබා ලදරු වූ මා පළමු කොට ම අතිගම්භීර වූ අභිධර්මයෙහි හික්මවා ලූසේක. එබැවින් මාගේ උපාධ්‍යායයන් වහන්සේ එකාන්තයෙන් ම ගැඹුරු වූ නුවණින් සිස් වූසේක. මාගේ උපාධ්‍යායයන් වහන්සේ ඒකාන්තයෙන් ම අඥානසේකැයි සිතූසේක.

 

ඉක්බිත්තෙන් ආයුෂ්මත් රොහණස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේගේ සිතිවිල්ල සිතින් සිත පිරිසිඳ දක්නා ඤාණයෙන් දැක ආයුෂ්මත් නාගසෙනයන්ට මෙපවත් කීසේක:- නාගසෙනයෙනි, තොප වැනි අයට සුදුසු නො වන සිතිවිල්ලක් සිතුවහුය. නාගසෙනයෙහි, මේ සිතිවිල්ල සිතන්ට තොපට සුදුසු නැතැයි වදාළසේක. එබස් අසා නැවැත ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේට මෙබඳු සිතිවිල්ලෙක් විය:- මාගේ සිත උපන් විතර්කය යම් තැනෙක නම්, එතැන ම මාගේ උපාධ්‍යායයන් වහන්සේ සිතින් සිත පිරිසිඳ දැන වදාරණසේක. එහෙයින් පින්වත් වූ මාගේ උපාධ්‍යායයන් වහන්සේ එකාන්තයෙන් ම ආශ්චර්යවත් වූසේක. පින්වත් වූ මාගේ උපාධ්‍යායයන් වහන්සේ එකාන්තයෙන් ම අද්භූත වූසේක. මාගේ උපාධ්‍යායයන් වහන්සේ එකාන්තයෙන් ම පණ්ඩිත වූසේක. එබැවින් මම උපාධ්‍යායයන් වහන්සේ ක්ෂමා කරවා ගත්තෙම් වීම් නම්, ඉතා යෙහෙකැයි සිතා නැවැත ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ දොහොත් මුදුනෙහි තබා ගෙණ ආදරයෙන් නැමී සිට ආයුෂ්මත් වූ රොහණ ස්ථවිරයන් වහන්සේට මෙපවත් සැළකළසේක:- අනේ! ස්වාමීනි, නො දැන සිතුවා වූ මට ක්ෂමා කර වදාළ මැනැව. නැවැත මෙබඳු සිතක් නො සිතමි යි සැළ කළසේක. ඉක්බිති ආයුෂ්මත් රොහණස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් නාගසෙනනමට මෙපවත් කීසේක. නාගසෙනයෙනි, මෙපමණකින් තොපට මම ක්ෂමා නො කරමි. එම්බා නාගසෙනයෙනි, සාගල නම් නුවරෙක් ඇත. එහි මිලිඳු නම් රජෙක් රාජ්‍යය කරන්නේ ය. ඒ රජ දෘෂ්ටි වාදයෙන් ප්‍ර‍ශ්න අසා භික්ෂුසංඝයා වෙහෙසන්නේ ය. ඉදින් තෙපි ඒ නුවරට ගොස් ඒ රජ්ජුරුවන් දමනය කොට පහදවන්නහු වූ නම්, එසේ කල මම තොපට ක්ෂමා කෙරෙමියි වදාළ සේක. ස්වාමීනි, වැඩ සිටිය මැනැව. එක ම මිලිඳුරජකු තබා ඉදින් ස්වාමීනි, සකල ජම්බුද්වීපයෙහි සියලු ම (17) රජදරුවෝ මා කරා අවුත් මාගෙන් ප්‍ර‍ශ්න විචාළාහු නම්, ඒ සියල්ල ම විසඳා සම්ප්‍ර‍දාලනය කෙරෙමි යි ඊට සැකයක් නො කොට, ස්වාමීනි, මට ක්ෂමා කළ මැනැවැයි කියාත් ක්ෂමා නො කෙරෙමියි කී කල්හි එසේ වී නම් ස්වාමීනි, වස් වසන කලත් ලං විය. මේ තුන් මාසය කවුරුන් ලඟ වසම් දැ? යි කීසේක.

 

නාගසෙනයෙනි, මේ වනාහි ආයුෂ්මත් අස්සගුත්ත මහතෙරුන් වහන්සේ වත්තනිය නම් සෙනාසනයෙහි වැඩ වසනසේක්, යව. තෙපි, නාගසෙනයෙනි, ආයුෂ්මත් අස්සගුත්ත තෙරුන් වහන්සේ යම් තැනෙක ද, එතැනට එළඹෙව. සමීප ව ගොස් මාගේ වචනයෙන් ආයුෂ්මත් අස්සගුත්තමහතෙරුන් වහන්සේගේ පාදද්වන්දවය මස්තකයෙන් වඳුව. එසේ වැඳ මෙසේ ද කියව:- ස්වාමීනි, මාගේ උපාධ්‍යායයන් වහන්සේ ඔබ වහන්සේගේ පාදද්වන්දවය සිරසින් වන්දනා කෙරෙති. නිරොගිබව ද නිදුක්බව ද ශරීරයාගේ ලහුකපරිවර්තනය ද ශරීරබල ද ශරීරයාගේ සැප විහරණය ද විචාරණසේක. මේ තුන්මස ඔබවහන්සේගේ සමීපයෙහි වසන්නට මා එවූසේකැ. යි කියා තොපගේ උපාධ්‍යායයෝ කවුරු නම් ද? යි විචාළ කල්හි ස්වාමීනි, රොහණ ස්ථවිර නමැයි කියව. මම කිනම් දැ? යි විචාළ කල්හි මෙසේ කියව. මාගේ උපාධ්‍යායයන් වහන්සේ ස්වාමීනි, ඔබගේ නම දන්නාසේකැයි කියව යි වදාළ කල්හි එසේ ය වහන්සැ යි කියා ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ ආයුෂ්මත් රොහණස්ථවිරයන් පසඟ පිහිටුවා වැඳ පැදකුණු කොට පාසිවුරු ගෙණ අනුපූර්වයෙන් ම සැරිසරණ සේක්, යම් තැනෙක වත්තනිය නම් සෙනාසනය වී ද, යම් තැනෙක ආයුෂ්මත් අස්සගුත්තතෙරුන් වහන්සේ වසන සේක් ද, එතැන්හි එළඹිසේක. එළඹ ආයුෂ්මත් අස්සගුත්තස්ථවිරයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ එකත්පසෙක සිටිසේක. එකත්පසෙක සිටියා වූ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ ආයුෂ්මත් අස්සගුත්ත ස්ථවිරයන් වහන්සේට මෙපවත් කීසේක:- ස්වාමීනි, මාගේ උපාධ්‍යායයන් වහන්සේ නුඹ වහන්සේගේ පාදද්වන්ද්වය මස්තකයෙන් වඳනා සේක. මෙසේ ද කියන සේක:- නීරෝගිබව ද නිදුක්බව ද ශරීරයාගේ සැහැල්ලුබව ද ශරීරයාගේ බල ඇති බව ද ශරීරයාගේ සැපවිහරණය ද විචාරවයි කී සේක. ස්වාමීනි, උපාධ්‍යායයන් වහන්සේ මා මේ තුන් මාසය ඔබවහන්සේගේ සමීපයෙහි වසන්නට එවූසේකැයි දැන්වූසේක.

 

ඉක්බිති ආයුෂ්මත් අස්සගුත්ත තෙරුන් වහන්සේ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේට මෙපවත් කීසේක. තෙපි කිනම් දැ? යි විචාළ සේක. ස්වාමීනි, මම නාගසෙන නම් වීමියි කීසේක. තොපගේ උපාධ්‍යායයෝ කිනම් දැ? යි විචාළසේක. ස්වාමීනි, මාගේ උපාධ්‍යායයෝ රොහණ ස්ථවිර නම් වනසේකැයි කීසේක. මම කවුරු නම් වෙම් දැ? යි විචාළසේක. ස්වාමීනි, මාගේ උපාධ්‍යායයන් වහන්සේ නුඹ වහන්සේගේ නම දැන වදාරණසේකැයි කීසේක. යහපත නාගසෙනයෙනි, පාසිවුරු තැන්පත් කොට තබවයි වදාළසේක. යහපත ස්වාමීනියි කියා පාසිවුරු තැන්පත් කොට තබා එදවසක් සැතැපී දෙවෙනි දවස් උදෑසන්හි ම පිරිවෙණ වට හැමද මුව සෝදන දිය හැ දැහැටි ගෙණ ගොස් ලඟ තැබූසේක. (18) අස්සගුත්තතෙරණුවෝ ද ඇමදපු මළුව නැවැත ඇමැදිසේක. ඒ වතුර දමා වෙනින් පැන් ගෙණ වදාළසේක. ඒ දැහැටි ඉවත් කොට වෙනින් දැහැටි ගෙණ වදාළසේක. නාගසෙනයන් වහන්සේ සමඟ ඉදිරි පසු කථාවකුත් නො කළසේක. මෙසේ සත්දවසක් පරීක්ෂා කොට සත්වැනි දවස් නැවැතත් ආ තොරතුරු විචාරා නැවතත් ඒ නාගසෙනයන් වහන්සේ විසින් එලෙස ම කී කල්හි වස් වසන දවසත් එදවස් ම වූ හෙයින් උන්වහන්සේටත් වස් විසීමට අවසර දුන්සේක.

 

එසමයෙහි වනාහි මහත් ධනභොගසාරයෙන් හා ශ්‍ර‍ද්ධාශීල ගුණයෙන් මහත් වූ එක්තරා මහාඋපාසිකාවක්තොමෝ ආයුෂ්මත් අස්සගුත්ත තෙරුන් වහන්සේට තිස්හවුරුද්දක් පමණ උපස්ථාන කළා ය. නැවැත ඒ මහාඋපාසිකාතොමෝ එවස් තුන්මාසයෙහිත් උපකාර කොට තුන් මාසයාගේ ඇවෑමෙන් ආයුෂ්මත් අස්සගුත්තතෙරුන් වහන්සේ යම් තැනෙක වසනසේක් ද, එතැනට එළඹියා ය. එසේ එළඹ ආයුෂ්මත් අස්සගුත්ත තෙරුන් වහන්සේට මෙපවත් සැලකළා ය:- ස්වාමීනි, පියානන් වහන්ස, නුඹ වහන්සේගේ සමීපයෙහි වෙනත් භික්ෂු නමෙක් ඇද්දෝ හො? යි විචාළා ය. මහාඋපාසිකාවෙනි, අප ලඟ නාගසෙන නම් භික්ෂුනමෙක් ඇතැයි වදාළසේක. එසේ වීනම් පියානෙනි, අස්සගුත්ත ස්ථවිරයන් වහන්ස, සෙට දවසට මාගෙන් බත් නාගසෙනයන් වහන්සේ සමඟ ස්වාමීන් වහන්සේ ඉවසා වදාළ මැනවයි ආරාධනා කළා ය. එකල ආයුෂ්මත් අස්සගුත්ත තෙරුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක.

 

ඉක්බිති ආයුෂ්මත් අස්සගුත්තතෙරුන් වහන්සේ එදවස් රාත්‍රියගේ ඇවෑමෙන් පූර්වාහ්නසමයෙහි හැඳ පෙරව කයින් සිවුරු හා අතින් පාත්‍ර‍ය ගෙණ පසුමහණ කොට කැඳවා ගෙණ යන්නා වූ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ හා සමග යම් තැනෙක මහාඋපාසිකාවගේ නිවෙසනය ද, එතැනට වැඩිසේක. එසේ වැඩ, පණවන ලද ආසනයෙහි වැඩ උන්සේක. ඉක්බිති ඒ මහාඋපාසිකාතොමෝ ආයුෂ්මත් අස්සගුත්ත තෙරුන් වහන්සේ ද ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ ද ප්‍ර‍ණීත වූ ඛාද්‍යභොජ්‍ය ආහාරයෙන් ස්වහස්තයෙන් ම වැළැඳවූවා ය. පෙරැත්ත කොට වැළඳ වූවාය. වළඳා ඉක්බිති ආයුෂ්මත් අස්සගුත්ත මහතෙරුන් වහන්සේ වැළඳූ[25] පාත්‍රයෙන් ඉවත් කරණ ලද අත් ඇති ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේට මෙපවත් කීසේක:- නාගසෙනයෙනි, තෙපි මහාඋපාසිකාවට අනුමෝදනා කරවයි මේ වචනය කියා ආසනයෙන් නැඟිට විහාරයට වැඩිසේක. නැවැත ඒ මහාඋපාසිකාවෝ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේට මෙපවත් කීවාහු ය: පියානෙනි, නාගසෙනයන් වහන්ස, මම වනාහි ඉතා මැහැල්ලමි[26]. ගම්භීර වූ ධර්මකථාවකින් මට අනුමෝදනා කර වදාළ මැනැවැයි සැළකළාහ. ඉක්බිත්තෙන් ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ ඒ මහාඋපාසිකාවන්ට ගම්භීර වූ ලොකොත්තර වූ ශූන්‍යතා ප්‍ර‍තිසංයුක්ත වූ අභිධර්මකථාවෙන් අනුමෝදනා කළසේක. ඉක්බිති ඒ මහාඋපාසිකාවෝ ද ඒ උන් ආසනයෙහි ම යම්කිසි සමුදයධර්මකෙනෙක් ඇද්ද ඒ සියල්ල ම නිරොධධර්මයායි දන්නා වූ කෙලෙස්රජස් නැත්තා වූ පහ වූ ක්ලේශ්මලය ඇති ශ්‍රොතාපත්තිමාර්ගඥානය පහළ ව (19) නිවන් දැක්කාහ.

 

ආයුෂ්මත් වූ නාගසෙනයන් වහන්සේත් ඒ මහාඋපාසිකාවට අනුමෝදනා කොට තමන් දෙසූ ධර්මය ප්‍ර‍ත්‍යවෙක්ෂා කොට විදර්ශනා වඩා ඒ ආසනයෙහි ම හිඳ සෝවාන්ඵලයෙහි පිහිටිසේක. ඉක්බිත්තෙන් ආයුෂ්මත් අස්සගුත්ත මහතෙරුන්වහන්සේ තමන්ගේ වෙහෙර මණ්ඩල මාළකයෙහි උන්සේක්, දෙදෙනාගේ ම නිර්වාණධර්මප්‍ර‍තිලාභය දිවැසින් දැක වදාරා සාධු, සාධු, නාගසෙනයෙනි, එක ම හීසැරයෙන් ම ශරීරයෝ දෙදෙනෙක් විදිනා ලදහ යි කියා සාධුකාර පැවැත්වූසේක. ඒ අසා නොයෙක් දහස්ගණන් දෙවතාවෝ ද සාධුකාර පැවැත්වූහ. ඉක්බිති ආයුෂ්මත් වූ නාගසෙනයන් වහන්සේ වැඩ උන් ආසනයෙන් නැඟී සිට යම් තැනෙක ආයුෂ්මත් අස්සගුත්තතෙරුන් වහන්සේ වසනසේක් ද, එතැනට වැඩිසේක. එසේ වැඩ ආයුෂ්මත් අස්සගුත්ත තෙරුන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව සිටිසේක. එකත්පස් ව සිටියා වූ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේට ආයුෂ්මත් අස්සගුත්ත තෙරුන් වහන්සේ මෙපවත් කීසේක:- නාගසෙනයෙනි, තෙපි පැළලුප්නුවරට යව. පැළලුප් නුවර අසොකාරාමයෙහි ආයුෂ්මත් ධම්මරක්ඛිත සථවිරයෝ වෙසෙති. ඔවුන්ගේ සමීපයෙහි දී බුද්ධවචනයන් උගණුවයි වදාළසේක. ස්වාමීනි, මෙතැන් පටන් පැළලුප්නුවර කෙතෙක් දුර දැ?යි විචාළසේක. නාගසෙනයෙනි, සියක්යොදුනෙකැයි වදාළසේක. ස්වාමීනි, මාර්ගය ඉතා දුර ය. අන්තර්මාර්ගයෙහි භික්ෂාව දුර්ලභ ය. මම කෙසේ යෙම් දැ?යි කීසේක. නාගසෙනයෙනි, අන්තර්මාර්ගයෙහි තොපට දවස් පතා නොයෙක් සූප හා අනෙක ව්‍යංජනයෙන් යුක්ත වූ කාළකභාවය දුරුවීමෙන් පිරිසිදු වූ සුවඳහැල්සාලෙන් කළ භොජනය ම පිණ්ඩපාතය ලැබෙයි. තෙපි යවයි වදාළසේක. එසේ ය, ස්වාමීන් වහන්සැයි කියා ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ ආයුෂ්මත් අස්සගුත්තතෙරුන් වහන්සේ වැඳ පැදකුණු කොට පාසිවුරු ගෙණ යම් දිසාභාගයෙක්හි පැළලුප්නුවර වීද, ඒ දිසාභාගයෙන් සැරිසරා වැඩිසේක.

 

එසමයෙහි වනාහි වෙළෙඳාමෙහි ගොස් එන්නා වූ පාටලීපුත්තක සිටානෝ බඩු පිරූ ගැල්පන්සියයක් ගෙන්වා ගෙණ පැළලුප්නුවරට යන මාර්ගයට පැමිණියාහු ය. ඒ පාටලීපුත්තක සිටානෝ දුරින් ම එන්නා වූ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ දුටුවෝ ම ය. දැක පන්සියයක් ගැල් පොරොත්තු කොට යම් තැනෙක ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ ද, එතනට ගියෝ ය. ගොස් ආයුෂ්මත් නාගසෙනයන් අභිවාදනය කොට ස්වාමිදරුවන්වහන්ස, කොතැන්හි වඩනාසේක් දැ? යි විචාළෝ ය. ගෘහපතිය, පැළලුප්නුවරට යම්හ යි වදාළසේක. යහපත ස්වාමීනි, අපිත් පැළලුප්නුවරට යම්හ. අප හා සමඟ සැප සේ වැඩිය මැනැවැයි ආරාධනා කොට කැඳවා ගෙණ යෙමින් නැවත පාටලීපුත්තක සිටානෝ ආයුෂ්මත් වූ නාගසෙන ස්ථවිරයන් වහන්සේගේ ඊර්යාපථයෙහි පැහැද ආයුෂ්මත් වූ නාගසෙනයන් වහන්සේට ප්‍ර‍ණීත වූ ඛාද්‍යභොජ්‍යාහාරයෙන් ස්වහස්තයෙන් ම වළඳවා සම්ප්‍ර‍වාරණය කොට වළඳවා ආයුෂ්මත් (20) නාගසෙනයන් වහන්සේ වැළඳූ පාත්‍රයෙන් ඉවත් කරණ ලද අත් ඇති ව වළඳා ඉක්බිති වූ කල්හි සිටානෝත් අන්‍යතරනීචාසනයක් ගෙණ එකත්පසෙක හුන්නාහ. එකත්පස් ව හුන්නා වූ පැළලුප්නුවර සිටානෝ ආයුෂ්මත් නාගසෙන ස්ථවිරයන් වහන්සේට මෙපවත් කීහ:- ස්වාමි පුත්‍ර‍යානෙනි, තෙපි කවර නම් වන්නහු දැ?යි විචාළෝ ය. ගෘහපතියෙනි, මම නාගසෙන නමැයි කීසේක. ස්වාමිපුත්‍ර‍යානෙනි, තෙපි බුද්ධවචනය නම් ධර්මයක් දන්නාසේක් දැ? යි විචාළෝ ය. ගෘහපතියෙනි, මම අභිධර්මපදයන් මඳක් දනිමියි කීසේක. ස්වාමිපුත්‍ර‍යානෙනි, අපට වූයේ මහාලාභයෙක. ස්වාමිදරුවානෙනි, අප ලද්දේ යහපත් ලාභයෙක. ස්වාමිදරුවානෙනි, මමත් පෙර අභිධර්මය ඇසූ උපාසකයෙක්මි. ස්වාමිදරුවානෙනි, නුඹවහන්සේත් අභිධර්මය දන්නාසේක. ස්වාමිදරුවානෙනි, අභිධර්මපදයන් වදාළ මැනැවැයි ආරාධනා කළෝය. ඉක්බිති ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ පාටලීපුත්තක සිටානන්ට අභිධර්මය දෙශනා කළසේක. දෙශනා කරණ කල්හි ම ධර්මයෙහි ම සිත ගියා වූ පාටලීපුත්තක සිටානන්ට යම්කිසි උත්පත්තිකරධර්මකෙනෙක් ඇද්ද, ඒ සියලු ම තෘෂ්ණා ධර්මය නිරුද්ධස්වභාව වන්නේ ය යි දන්නා වූ පහ වූ රජරජස් ඇති දුරු වූ ක්ලේශමල ඇති නිර්වාණධර්මය දක්නා දිව ඇස් පහළ ව සෝවාන් වූහ.

 

ඉක්බිති පාටලීපුත්තකසිටානෝ පන්සියයක් පමණ ගැල් ඉදිරියෙහි ගමන් කරවා තෙමේ පසුපස්සෙහි යනුවෝ[27] පැළලුප් නුවරට නුදුරු තෙන දෙමංසන්ධියෙක සිට ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේට මෙපවත් සැළකළෝ ය. ස්වාමිදරු වූ නාගසෙනයෙනි, අසෝකාරාමයට යන මාර්ගය මේ මඟ යයි කියා මඳක් තැන් ගොස් තමාගේ රක්ත කම්බිලිය පූජා කරණු කැමැති ව කියනුවෝ[28] ස්වාමිදරුවානෙනි, මාගේ මේ රක්තකම්බිලිය දිගින් සොළොස් රියන ය. පළලින් අටරියන ය. ස්වාමි දරුවානෙනි, මට අනුකම්පා උපදවා මේ රක්තකම්බිලිය පිළිගෙණ වදාළ මැනැවැයි කියා පූජා කළෝ ය. ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ අනුකම්පා උපදවා ඒ රක්තකම්බිලිය පිළිගත්සේක. ඉක්බිති පාටලීපුත්තක සිටානෝ සන්තොස වූහ. ඔද වැඩියා වූ සිත් ඇති ව ප්‍ර‍මුදිත වූ හෘදයෙන් යුක්ත ව ප්‍රීතිසොම්නස් උපදවා ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේට ආදරයෙන් පසඟ පිහිටුවා වැඳ ප්‍ර‍දක්ෂිණා කොට අවසර ගෙණ ගියෝ ය. ඉක්බිත්තෙන් ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ අසෝකාරාමය යම් තැනක ද, ආයුෂ්මත් ධම්මරක්ඛිත තෙරුන් වහන්සේ යම් තැනෙක ද, එතැනට එළඹිසේක. එසේ එළඹ ආයුෂ්මත් ධම්මරක්ඛිතතෙරුන් වහන්සේට අභිවාදනය කොට තමන් ආ කාරණය කියා ආයුෂ්මත් ධම්මරක්ඛිතතෙරුන් වහන්සේ සමීපයෙහි ත්‍රිපිටකබුද්ධවචනයන් එකොද්දෙශයෙන් ම තුන්මාසයකින් ව්‍යඤ්ජනවශයෙන් නිමවා ඉගෙණ නැවැත තුන්මාසයකින් අර්ථවශයෙන් මෙනෙහි කළසේක. ඉක්බිති ආයුෂ්මත් ධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේට මෙපවත් කීසේක. එම්බා නාගසෙනයෙනි, යම් සේ ගවපාලයා ගවයන් රක්ෂා කෙරේ ද, පඤ්චගොරසය අනික් සෙස්සෝ අනුභව (21) කෙරෙද් ද, එපරිද්දෙන් ම නාගසෙනයෙනි, තෙපි ත්‍රිපිටකබුද්ධවචනය ඉගෙණ සමර්ථ ව ධරන්නහු වූ නමුත් ශ්‍රාමණ්‍යගුණයාගේ අර්ථරසයට භාගි නො වන්නහු යයි වදාළසේක. ස්වාමීනි, ඒ කුමක් වේවයි, නුඹවහන්සේ මට ඉගැන්නු මේ ධර්මය විචරකින් ම පමණ. අර්ථරසය උගන්වන්ට වෙහෙස නො වන්නැයි කියා එදවස් රාත්‍රිභාගයෙහි ම උගත්තා වූ ධර්මයාගේ අර්ථරසය ආස්වාදනය කෙරෙමින් එම රාත්‍රිභාගයෙහි ම සිවුපිළිසිඹියා හා සමග රහත්ඵලයට පැමිණිසේක. ආයුෂ්මත් වූ නාගසෙනයන් වහන්සේ චතුස්සත්‍යය ප්‍ර‍තිවෙධය හා සමග ම සියලු දෙවියෝ ම සාධුකාර දුන්හ. මහපොළොව ගුගුරා පැන නැංගේ ය. මහා බ්‍ර‍හ්මයෝ සතුටින් පැන නැඟී අත් පොළසන් දුන්හ. දිවසඳුන්සුණු හා පරසතුමදාරා පුෂ්පයෝ මුළුලොව සුවඳ කෙරෙමින් අහසින් වර්ෂා කළාහු ය.

 

එසමයෙහි වනාහි කෙළසියයක් පමණ රහතන් වහන්සේ හිමාලය පර්වතයෙහි රක්ඛිත නම් තලයට රැස් ව හිඳ අපි සියලුදෙනා වහන්සේ ම නාගසෙනයන් දක්නා කැමැතියම්හ. එහෙයින් නාගසෙන ස්ථවිරයෝ එනසේක්වා යි කියා ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේගේ සමීපයට දූතනමක් හැරියසේක්ලා ය. ඉක්බිති ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ දූතයාගේ වචනය අසා අසෝකාරාමයෙන් අන්තර්ධාන ව හිමාලය පර්වතයෙහි රක්ඛිත තලයෙහි සිටි කෙළසියයක් රහතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වූසේක. ඉක්බිති කෙළසියයක් පමණ රහතුන් වහන්සේ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේට මෙපවත් කීසේක්ලා ය. නාගසෙනයෙනි, මේ වනාහි මිලිඳුරජ්ජුරුවෝ දෘෂ්ටිවාදප්‍ර‍තිවාදයෙන් ප්‍ර‍ශ්න විචාරා භික්ෂුසංඝයා වෙහෙසන්නෝ ය. නාගසෙනයෙනි, යහපත, තෙපි ගොස් මිලිඳුරජ්ජුරුවන් දමනය කරවයි වදාළාහු ය.

 

එකල නාගසෙනයන්වහන්සේ කියනසේක් ස්වාමීනි, හැම දෙනා වහන්සේ ඊට උත්සාහ නො කොට වැඩහුන මැනැව. එක ම මිලිඳුරජෙකු තබා, ඉදින් ස්වාමීනි, සකල ජම්බුද්වීපයෙහි රජහු අවුත් මා අතින් ප්‍ර‍ශ්න විචාළාහු නමුත් ඒ සියලු ප්‍ර‍ශ්න විසඳා සම්ප්‍ර‍දාලනය කෙරෙමි. ස්වාමීනි, ඔබවහන්සේලා හැම දෙනා ම අසම්භීත ව සාගලපුරනුවරට වැඩ වදාළ මැනැවැයි කීසේක. ඉක්බිති මහාථෙරභික්ෂූන් වහන්සේ ගොස් සාගලපුර නුවර කාසායවස්ත්‍රයෙන් බබුළුවා ක්සීණාශ්‍ර‍වසෘෂිවරයන්ගේ ගමනාගමනයෙන් ජනිත වූ චීවරවාතයෙන් ප්‍ර‍තිවාතය කළාහු ය. එසමයෙහි වනාහි ආයුෂ්මත් ආයුපාල නම් මහතෙරුන් වහන්සේ සංඛෙය්‍ය නම් පිරිවෙණ වසනසේක.

 

ඉක්බිති මිලිඳුරජ්ජුරුවෝ අමාත්‍යයන්ට මෙපවත් කීහ:- පින්වත්නි චන්ද්‍ර‍කාන්තියෙන් යුක්ත වූ රාත්‍රිතොමෝ එකාන්තයෙන් ම සිත්කලු ය. කිමෙක් ද? අද රෑ සාකච්ඡා කරණු පිණිස ප්‍ර‍ශ්න අසනු පිණිස ශ්‍ර‍මණයකු කරා හෝ බ්‍රාහ්මණයකු කරා හෝ එළඹෙමු ද? කවර කෙනෙක් මා හා සමග කථා කරන්නට කාංක්ෂාවිනොදනය කරන්නට හැකි[29] වෙත් දැ?යි විචාළහ. මෙසේ කී (22) කල්හි පන්සියයක් යොන්අමාත්‍යයෝ මිලිඳු රජ්ජුරුවන්ට මෙපවත් කීවාහු ය:- මහරජ්ජුරුවෙනි, පිටකත්‍ර‍ය දන්නා බුද්ධාගම දන්නා බහුශ්‍රැත වූ ආයුපාල නම් තෙරණු කෙනෙක් ඇත. ඒ ආයුපාල නම් තෙරුන් වහන්සේ දැන් මේ ප්‍ර‍ස්තාවයට සංඛෙය්‍ය නම් පිරිවෙණ වසනසේක. දෙවයන් වහන්ස, නුඹ වහන්සේ වැඩ වදාළ මැනව. ආයුෂ්මත් ආයුපාලස්ථවිරයන් අතින් ප්‍ර‍ශ්න අසා වදාළ මැනැවයි කීවාහු ය. එසේ වී නම්, සගයෙනි, ඒ පින්වත්හට අප එන පවත් කියවයි කීහ. ඉක්බිති නෙමිත්තක නම් යොන්ඇමතිතෙම ආයුෂ්මත් ආයුපාලතෙරුන් වහන්සේ සමීපයට ගොස් ස්වාමීන් වහන්ස, මිලිඳු රජ්ජුරුවෝ ආයුෂ්මත් ආයුපාලයන් වහන්සේ දක්නා කැමැතිසේකැයි කියවයි කියා දූතයෙකු හැරියෝ ය. එකල ආයුෂ්මත් ආයුපාලයන් වහන්සේ දූතයාගේ වචනය අසා මෙසේ කීසේක:- එසේ වී නම් රජ එත්වයි වදාළසේක.

 

ඉක්බිති මිලිඳුරජ්ජුරුවෝ පන්සියයක් යොන්ඇමැතියන් පිරිවරා උතුම් රථවාහනයකට පැන නැඟී සංඛෙය්‍ය නම් පිරිවෙණ යම් තැනෙක ද, ආයුෂ්මත් ආයුපාල ස්ථවිරයෝ යම් තැනෙක ද, එතැනට එළඹියාහ. එසේ එළඹ ආයුෂ්මත් වූ ආයුපාල ස්ථවිරයන් හා සමඟ සතුටු වූහ. සමඟ සතුටු විය යුතු වූ සිහි කට යුතු වූ කථා කොට නිමවා එකත්පසෙක හුන්නාහ. එකත්පසෙක උන්නා වූ මිලිඳුරජ්ජුරුවෝ ආයුෂ්මත් ආයුපාල ස්ථවිරයන් වහන්සේට මෙපවත් කීහ:- වහන්ස, ආයුපාල ස්ථවිරයෙනි, නුඹවහන්සේලාගේ ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව කවර අර්ථ්‍යක් පිණිස ද? නුඹ වහන්සේලාගේ මේ මහණ වීමෙහි උතුම් පරමාර්ථය කවරේ දැ?යි විචාළෝ ය. තෙරුන් වහන්සේ ඒ අසා මහරජානෙනි, අපගේ ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව ධර්මයේ හැසිර නිවන් දක්නා පිණිස ය යි වදාළසේක. ස්වාමීන් වහන්ස, ධර්මචර්යා ශ්‍ර‍මචර්යාවෙන් යුක්ත ව කිසි ගෘහස්ථ කෙනෙකුන් ඇද් ද?යි විචාළෝ ය. එසේ ය, මහරජානෙනි, ධර්මචාරී ශමචාරී වූ ගෘහස්ථයෝත් ඇත. මහරජ, අප භාග්‍යවත් තිලෝගුරු බුදුන් විසින් බරණැස් නුවරෙහි වූ මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි දී ධර්මචක්‍ර‍සූත්‍ර‍ය දෙශනා කරණ කල්හි අටළොස්කෝටියක් බ්‍ර‍හ්මයන්ට ධර්මාභිසමය වූයේ ය. දෙවතාවන්ගේ ධර්මාභිසමය වනාහි ගණනපථය අතික්‍රාන්ත වූයේ ය. ඒ සියල්ලෝ ම ගෘහස්ථ වූවෝ ම ය. ප්‍ර‍ව්‍ර‍ජිතයෝ නො වෙති. නැවත ද, මහරජානනි, අනිකකුත් ගෙණ හැර දක්වමි- අප භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ විසින් මහාසමයසූත්‍රාන්තය දෙශනා කරණ කල්හි ද, මහාමංගලසූත්‍රාන්තය දෙශනා කරණ කල්හි ද, සමචිත්ත පරියායසූත්‍රාන්තය දෙශනා කරණ කල්හි ද, රාහුලොවාදසූත්‍රාන්තය දෙශනා කරණ කල්හි ද, පරාභවසූත්‍රාන්තය දෙශනා කරණ කල්හි ද ගණනපථය අතික්‍රාන්ත වූ දෙවතාවුන්ට ධර්මාභිසමය වූයේ ය. ඒ සියල්ලෝ ම ගෘහස්ථ වූවෝ ම ය. ප්‍ර‍ව්‍ර‍ජිත වූවෝ නො වෙති යි වදාළ සේක.

 

එසේ වී නම්, වහන්ස, ආයුපාලස්ථවිරයෙනි, නුඹවහන්සේලාගේ ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව නිරර්ථකය. කිසි ප්‍රයෝජනයෙක් නැත. පෙර කළා වූ අකුශල කර්මයාගේ විපාකයෙන් ශ්‍ර‍මණශාක්‍යපුත්‍රයෝ හිසරවුළු මුඩු කොට[30] ගෙණ විචිත්‍ර‍වස්ත්‍ර‍ හැර එකවර්ණපිළී ගෙණ අගමුල සිඳ බිඳ කපා ගොතා පඬු පොවා වර්ණ විනාශ (23) කොට ගෙණ හැඳ නොයෙක් ඥාතිමිත්‍ර‍ අඹුදරුග්‍රාමක්ෂේත්‍ර‍ධනධාන්‍යාදී ඓශ්වර්ය සම්පත් හැර පැවිදි වෙති. තෙළෙස් ධුතාංගයන් ද පරිහරණය කෙරෙති. වහන්ස, ආයුපාල ස්ථවිරයෙනි, එකාසනිකංගය පුරණ යම් ඒ භික්ෂුකෙනෙක් ඇද් ද, ඒ භික්ෂූන් වහන්සේලා ද එකාන්තයෙන් ම පූර්වජාතියෙහි අනුන්ගේ වස්තු සොරා ගත් සොරු ය. උන්වහන්සේලා අනුන්ගේ වස්තු ඒ උදුරා ගෙණ අකුශල කර්මයාගේ විපාකයෙන් දැන් මේ ජාතියෙහි එකාඝනික වන්නාහ. අකුශලකර්මයෙන් කලින් කලට වළඳන්ට නො ලැබෙති. එක් වේලක ම වළඳති. එපමණෙක මුත් ඔවුන්ගේ ශීලයෙක් නම් නැත. තපසෙක් නම් නැත. බ්‍ර‍හ්මචර්යාවකුදු නැතැ යි කීහ. තව ද පින්වත් ආයුපාලයන් වහන්ස, යම් ඒ භික්ෂු කෙනෙක් වනාහි අබ්භොකාසිකංගය පුරන්නාහු ද, ඒ භික්ෂූහු ඒකාන්තයෙන් ම පූර්වජාතියෙහි ගම් පැහැර ගෙවල් ගිනි ලා සත්වයන්ට වෙහෙස දුන් සොරු ය.[31] ඔවුහු අනුන්ගේ ගෙවල් නසා දමා ඒ අකුසලකර්මයාගේ විපාකයෙන් මේ ජාතියෙහි අබ්භොකාසිකංගය පුරන්නාහු වෙති. තමන් කළ අකුශලකර්මයෙන් සෙනාසනයන් පරිභොග කරන්නට නො ලබන්නාහු වෙති. එපමණක් මිස ඔවුන්ට ශීලයෙක් නම් නැත. තපසෙක් නම් නැත. බ්‍ර‍හ්මචර්යයෙක් නම් නැතැයි කීහ. තව ද, ස්වාමීනි, ආයුපාල ස්ථවිරයෙනි, නිදි වර්ජිත කරණ නෙසජ්ජික නම් යම් ඒ භික්ෂුකෙනෙක් ඇද්ද, ඒ භික්ෂූහු එකාන්තයෙන් ම පූර්ව ජාතියෙහි මං පහරණ සොරු [32]ය. ඔවුන් මඟ යන එන්නන් අල්වා ගෙණ අඩු බඩු කොල්ල කමින් ඔවුන්ට රෑදවල් නිදි වැද්ද නො දී ගස් බැඳ හිඳුවා ඒ අකුශලකර්මවිපාකයෙන් මේ ජාතියෙහි ඔහු නිදි නො ලැබ නෙසජ්ජික වන්නාහු වෙති. සයනයක පිට තබා සයනය කරන්නට නො ලැබෙති. ඒ මිසක් ඔවුන්ගේ ශීලයෙක් නම් නැත. තපසෙක් නම් නැත. ශ්‍රෙෂ්ඨ චර්යාවෙක් නම් නැතැයි කීහ. මෙසේ මිලිඳුරජ්ජුරුවන් කී කල්හි ආයුෂ්මත් ආයුපාලස්ථවිරයන් වහන්සේ සිතනසේක් මේ රජ බණ අසන්ට අවුත් අසන බණ තබා අනික් මඟක යෙයි. මේනිසා රජහට බණ කීමෙන් ප්‍රයෝජන කිම් දැ? යි කිසිවක් නො වදාරා තුෂ්ණීම්භූත ව වැඩ හුන්සේක.

 

ඉක්බිති පන්සියයක් යොන්අමාත්‍යයෝ තෙරුන්වහන්සේ තුෂ්ණීම්භූත ව හිඳිනා දැක මිලිඳුරජ්ජුරුවන්ට මෙපවත් කීවාහු ය. දෙවයන් වහන්ස, තෙරුන් වහන්සේ පණ්ඩිතසේක. එතෙකුදු වුවත් අවිසාරද බැවින් කිසිවක් වදාරන්නේ නැතැයි කීවාහු ය. ඉක්බිති මිලිඳුරජ්ජුරුවෝ ආයුෂ්මත් ආයුපාලතෙරුන් වහන්සේ තුෂ්ණීම්භූත ව හුන්නා දැක අත්පොළසන් දී ඔල්වර හඬ ගසා පිරිවරා හුන් යොන්ඇමතියන්ට මෙපවත් කීහ:- එම්බා සගයෙනි, මේ සකල ජම්බුද්වීපයෙහි පණ්ඩිතයෙක්[33] නැත. එබැවින් එකාන්තයෙන් ම සිස් ව ගියේ ය. එම්බා සගයෙනි, මේ සකලජම්බුද්වීපය පණ්ඩිතගෝචර වූ අර්ථරසයක් අසන්නට නැති බැවින් එකාන්තයෙන් ම ප්‍ර‍ලාප විය. යම් කිසි ශ්‍ර‍මණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මා හා සමඟ කථා කරන්නට- කාංක්ෂා විනොදනය කරන්නට- හැකි වේ ද, එබඳු කෙනෙක් නැතැයි කීහ. අමාත්‍යයෝ කිසිවක් නො කියා උන්හ. ඉක්බිති (24) ඒ සියලු ම අමාත්‍යපිරිස දෙස නැවැත නැවැත[34] බලන්නා වූ මිලිඳුරජහට අභීත ව කිසි සැකයක් නැති ව හුන් යොන්අමාත්‍යයන් දැක මෙබඳු සිතෙක් වූයේ ය. යම් කාරණයකින් මේ යොන්අමාත්‍යයෝ කිසි සැකයක් නැති ව උන්නාහු ද, ඒ කාරණයෙන් යමෙක් මා හා සමඟ කථා කරන්නට සමර්ථ වේ ද, එබඳු වූ අනික් කිසි පණ්ඩිත වූ භික්ෂූන් වහන්සේ නමක් එකාන්තයෙන් සැක නැති ව ම ඇතැයි සිතමින් රජතෙමේ මහත් වූ අභිමානයෙන් පෙරළා රාජභවනයට ම ගියේ ය.

 

එසමයෙහි වනාහි සංඝනායක වූ ගණනායක වූ ගණාචාර්ය වූ ලොක ප්‍ර‍සිද්ධ වූ කීර්ති ඇත්තා වූ බොහෝ ජනයා විසින් යහපත් කෙනෙකැ යි සම්මත කරණ ලද්දා වූ පණ්ඩිතත්වයට පැමිණියා වූ ව්‍යක්ත වූ මහත් ප්‍ර‍ඥාව ඇත්තා වූ දක්ෂ වූ විශෙෂයෙන් අවබොධ කරණ ලද ප්‍ර‍ඥාව ඇත්තා වූ විශෙෂයෙන් භාවිත වූ ප්‍ර‍ඥාව ඇත්තා වූ ලෞකිකලොකොත්තරගුණ ධර්මයෙහි හික්මුනා වූ විශාරද වූ බහුශ්‍රැත වූ පිටකත්‍ර‍යධාරි වූ සියලු අර්ථයන්ගේ කෙළවරට පැමිණියා වූ අවබොධ කරණ ලද ප්‍ර‍ඥාවිශෙෂ ඇත්තා වූ එකශ්‍රැතියෙන් සිතට නැඟුනු ආගම ඇත්තා වූ පැමිණෙන ලද ප්‍ර‍තිසම්භිදාප්‍ර‍ඥාව ඇත්තා වූ නවාංගශාස්තෘශාසනපර්යාප්තිධර වූ සර්වඥ වචනයෙහි කෙළ පැමිණියා වූ ධර්මාර්ථදෙශනාප්‍ර‍තිවෙධයෙහි දක්ෂ වූ ක්ෂය නො වන විසිතුරු වූ වැටහෙන ප්‍ර‍ඥාව ඇත්තා වූ චිත්‍ර‍කථික වූ මනොඥ වූ වාක්කරණයෙන් යුක්ත වූ අන්‍යදෘෂ්ටිකවාදියකු විසින් ලංවිය නො හැක්කා වූ අන්‍යදෘෂ්ටිකයකු විසින් මැඩ ගත නො හැක්කා වූ අන්‍ය දෘෂ්ටිකයකු විසින් උත්තරයක් කිය නො හැක්කා වූ සමුද්‍ර‍ය මෙන් කිසි කෙනකුන් විසින් ආවරණයක් කළ නො හැක්කා වූ කිසිවකු විසින් අධිගතගුණයෙන් වළක්වා ගත තො හැක්කා වූ මහාසාගරය මෙන් කැලඹිය නො හැක්කා වූ මහාමෙරුරාජයා මෙන් නිශ්චල වූ තදංගාදීන් පහ කරණ ලද ක්ලේශයුද්ධ ඇත්තා වූ මොහාන්ධකාරය දුරු කරන්නා වූ ප්‍ර‍ඥාලෝකය ලොවට ප්‍ර‍කාශ කරන්නා වූ මහාකථිශ්වර වූ අන්‍යගණ ජ්‍යෙෂ්ඨසමූහයන්ගේ වාද මථනය කරන්නා වූ අන්‍යතීර්ථකයන්ගේ අහංකාරය මර්දනය කරන්නා වූ භික්ෂුභික්ෂුණී උපාසකඋපාසිකා රාජ රාජමහාමාත්‍යයන් විසින් සත්කාර කරණ ලද්දා වූ ගෞරව කරණ ලද්දා වූ සිතින් ආදර කරණ ලද්දා වූ යථාශක්තීන් පුදන ලද්දා වූ සත්කාර කරණ ලද්දා වූ චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්‍ර‍ත්‍යයභෛෂජ්‍ය පරිෂ්කාරයන් ලාභී වූ ලාභයෙන් හා යශසින් අග්‍ර‍ප්‍රාප්ත වූ ශ්‍ර‍මණගණයා විසින් පිරිවරණ ලද්දා වූ ආයුෂ්මත් නාගසෙනස්ථවිරයන් වහන්සේ ඥානාභිවෘද්ධි ඇත්තා වූ අසා දැරීමෙන් යුක්ත වූ නුවණැත්තවුන්ට මෙලෝ පරලෝ වැඩ දක්වමින් නවාංගසර්වඥශාසනය නමැති රත්නය ගෙණ හැර දක්වමින් උතුම් වූ නිර්වාණධර්මය දක්වා වදාරමින් සද්ධර්ම නමැති ප්‍ර‍දීපය නගා දරමින් සද්ධර්ම නමැති යාගස්තම්භය ඔසොවමින් සද්ධර්ම නමැති මහාදානය දෙමින් සද්ධර්මධ්වජය උසස් කොට නගමින් සද්ධර්මජයපතාකය නඟා කෙළවමින් සද්ධර්ම නමැති ජයසංඛය ඌර්ධ්ව කොට අල්ලා පිඹිමින් සද්ධර්ම නමැති ජයබෙරය (25) ගසමින් අභීතසිංහනාද ඥානගර්ජිතය ගර්ජනා කෙරෙමින් මධුරස්වරගර්ජනා නමැති ශ්‍රෙෂ්ඨ වූ මෙඝගර්ජනාවෙන් යුක්ත වූ උතුම් වූ ප්‍ර‍ඥා නමැති විජ්ජුල්ලතාවෙන් වලඳනා ලද්දා වූ කරුණා නමැති සිසිරජලයෙන් භරිත වූ මහත් වූ සද්ධර්මාමෘතවර්ෂාවෙන් සියලු ලෝකයා මනා කොට සන්තර්පනය කෙරෙමින් ග්‍රාමනිගමරාජධානියෙහි සැරිසරා වඩනාසේක් අනුක්‍ර‍මයෙන් ගොස් සාගල නම් නුවරට පැමිණිසේක.

 

එහි වනාහි ආයුෂ්මත් නාගසෙනස්ථවිරයානෝ අසූදහසක් පමණ භික්ෂුසංඝයා වහන්සේ හා සමඟ සංඛෙය්‍ය නම් පිරිවෙණෙහි වාසය කරණ සේක. එහෙයින් ඒ බව හඟවන පූර්වාර්යයන් විසින් කියන ලදී:-

 

බහුස්සුතො චිත්කථී-නිපුණො විසාරදො,

සාමයිකො කුසලො-පටිභානො කොවිදො.

 

තෙ තෙපිටකා භික්ඛු-පඤ්චනෙකායිකාපි ,

චතුනෙකායිකා චෙව-නාගසෙනං පුරක්ඛරුං.

 

ගම්භීරපඤ්ඤො මෙධාවී-මග්ගාමග්ගස්ස කොවිදො,

උත්තමත්ථං අනුප්පත්තො-නාගසෙනො විසාරදො.

 

තෙහි භික්ඛූහි පරිවුතො-නිපුණෙහි සච්චවාදිහි,

චරන්තො ගාමනිගමං-සාගලං උපසංකමී.

 

සංඛෙය් පරිවෙස්මිං-නාගසෙනො තදා වසී,

කථෙසි සො මනුස්සෙහි-පබ්බතො කෙසරී යථායි.

 

මෙසේ යථොක්ත ගුණානුභාවයෙන් යුක්ත ව අභීතකෙශර සිංහ රාජයකු මෙන් වැඩ වසන කල්හි ඉක්බිති එක් දවසක් මිලිඳුරජ්ජුරුවෝ යොන්අමාත්‍යයන්ට ආමන්ත්‍ර‍ණය කොට මෙපවත් කීහ. එම්බා සගයෙනි, මා හා සමඟ කථා කරන්නට මාගේ කාංක්ෂා විනොදනය කරන්නට යමෙක් සමර්ථ ද, එබඳු අනික් පණ්ඩිත වූ භික්ෂුවෙක්[35] ඇද් ද? යි විචාළහ. ඉක්බිති ඒ අසා දෙවමන්ත්‍රි නම් අමාත්‍යයා මිලිඳුරජහට මේ කාරණය කීයේ ය. දේවයන් වහන්ස, නුඹ වහන්සේ මඳක් කල් ඉවසුව මැනව. දේවයන් වහන්ස, පණ්ඩිත වූ ව්‍යක්ත වූ ප්‍ර‍ඥාවත් වූ නුවණින් ම සුශික්ෂිත වූ විශාරද වූ බහුශ්‍රැත වූ චිත්‍ර‍කථික වූ සුන්දර වූ විදර්ශනා නුවණින් යුක්ත වූ අර්ථධර්මනිරුක්තිප්‍ර‍තිභාන යන සිවුපිළිසිඹියායෙහි පාරප්‍රාප්ත වූ නාගසෙන නම් ස්ථවිරනමෙක් ඇත. උන් වහන්සේ දැන් සංඛෙය්‍ය නම් පිරිවෙණ වසන සේක. දෙවයන් වහන්ස, නුඹ වහන්සේ වැඩ වදාළ මැනැව. නාගසෙන නම් ආයුෂ්මතුන් වහන්සේ අතින් ප්‍ර‍ශ්න ඇසුව මැනැව. උන්වහන්සේ නුඹ වහන්සේ හා සමග කථා කරන්නට කාංක්ෂා විනොදනය කරන්නට සමර්ථ වනසේකැයි කීයේ ය. ඉක්බිති මිලිඳුරජ නාගසෙන ය යි යන ශබ්දය අසමින් ම යුහු ව ම භය වූයේ ම ය. තැති ගැන්ම වූයේ ම ය. ලොමුදහ ගැන්ම වූයේ ය. ඇඟින් ඩා සෙල වී තැති ගෙණ සිටත් රාජධෛර්යය (26) උපදවා ගෙණ නැවැත මිලිඳුරජ දෙවමන්ත්‍රි නම් අමාත්‍යයාහට මෙපවත් කී ය. එම්බල සගය, නාගසෙන භික්ෂු මා හා සමඟ කථා කරන්නට සමර්ථ දැ?යි විචාළේ ය. කිමෙක් ද දෙවයන් වහන්ස, ඉන්ද්‍ර‍යමවරුණකුවෙරප්‍ර‍ජාපති සුයාමසන්තුසිත ලොක පාලයන් හා ද පීතෘ[36] වූ මහාබ්‍ර‍හ්මයා සමඟ ද කථා කරන්නට සමර්ථ වන සේක. මනුෂ්‍ය වූවන් සමඟ කථා කිරීම කියනු ම කවරේ දැ? යි කීයේ ය.

 

ඒ අසා නැවත මිලිඳු රජ්ජුරුවෝ දෙවමන්ත්‍රියාහට මෙපවත් කීහ:- එසේ වී නම්, දෙවමන්ත්‍රිය, තෝ ඒ පින්වතුන් වහන්සේගේ සන්තිකයට දූතයකු හරුවයි කීහ. එසේ ය, දෙවයන් වහන්සැ යි කියා දෙවමන්ත්‍රි නම් අමාත්‍යයා ස්වාමීනි, මිලිඳුරජ්ජුරුවෝ ආයුෂ්මතුන් වහන්සේ දක්නා කැමැති සේකැයි කියා ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේගේ සමීපයට දූතයකු පිටත් කෙළේ ය. එකල ආයුෂ්මත් නාගසෙන ස්ථවිරයෝ ද එපරිද්දෙන් ම එසේ වී නම්, මහරජතෙමේ එන සේ මැනැවැයි වදාළසේක. ඉක්බිති මිලිඳුරජ්ජුරුවෝ පන්සියයක් යොන් ඇමතියන් විසින් පිරිවරණ ලදුව සෛන්ධවයන් යෙදූ උතුම් රථවාහනයකට පැන නැගී මහත් වූ බළසෙනාව හා සමඟ යම් තැනෙක සංඛෙය්‍ය නම් පිරිවෙණ වී ද, යම් තැනෙක ආයුෂ්මත් නාගසෙනස්ථවිරයන් වහන්සේ වැඩ වසනසේක් ද, එතැන්හි එළඹියාහ. එසමයෙහි වනාහි ආයුෂ්මත් නාගසෙනස්ථවිරයානෝ අසූදහසක් පමණ භික්ෂුසංඝයා හා සමඟ මණ්ඩලමාළකයෙහි වෘත්තාකාරයෙන් වැඩහුන්සේක. එකල මිලිඳු රජ්ජුරුවෝ ආයුෂ්මත් නාගසෙන ස්ථවිරයන් වහන්සේගේ සංඝපිරිස දුර දී ම දුටුවෝ ම ය. දැක දෙවමන්ත්‍රියාහට මෙපවත් කීහ:- දෙවමන්ත්‍රිය මේ මහත් වූ පිරිස කාගේ දැ?යි විචාළහ. දෙවමන්ත්‍රියා ඒ අසා දෙවයන් වහන්ස, ආයුෂ්මත් නාගසෙනස්ථවිරයන් වහන්සේගේ පිරිස යයි කීයේ ය.

 

ඉක්බිති මිලිඳුරජ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේගේ පිරිස දුර දී ම දැක භය වූයේ ම ය. තැති ගැන්ම වූයේ ම ය. ඇඟ ඩා සෙල වී ලොමු දහ ගත්තේ ම ය. ඉක්බිති මිලිඳුරජ්ජුරුවෝ කඟවෙසණුන් විසින් පිරිවැරූ ඇතකු මෙන් ද, ගුරුළුන් විසින් පිරිවැරූ නයකු මෙන් ද, පිඹුරන් විසින් පිරිවැරූ සිගාලයකු මෙන් ද, මීගොනුන් විසින් පිරිවැරූ වලසකු මෙන් ද, නයකු ලුහුබැඳ ගත් මැඩියකු මෙන් ද, දිවියකු ලුහුබැඳ ගත් මුවෙකු මෙන් ද, අහිගුණ්ඨිකයකු අතට පැමිණි නයකු මෙන් ද, බළලෙකු ලඟට පැමිණි මීයකු මෙන් ද, යකැදුරකු සමීපයට පැමිණි ප්‍රෙතයකු මෙන් ද, රාහුමුඛයට පැමිණි චන්ද්‍ර‍යා මෙන් ද, පෙලාන්තරගත නයකු මෙන් ද, මැදිරියකට පැමිණි පක්ෂියකු මෙන් ද, දැලට පැමිණි මසකු මෙන් ද, ව්‍යාඝ්‍රාදීන් වසන වනයකට ප්‍ර‍විෂ්ට වූ පුරුෂයකු මෙන් ද, වෙසමුණිරජහට අපරාධ කළ යකකු මෙන් ද, ආයු පිරිහුනු දිව්‍යපුත්‍ර‍යකු මෙන් ද, භය වෙමින් උද්වෙගයට පැමිණෙමින්, සිත් තැවෙමින්, සිත කලකිරී ලොමු දහ ගෙණ මුළා වූ සිත් ඇති ව, දොම්නස් වූ සිත් ඇති ව, භ්‍රාන්ත වූ සිත් ඇති ව, පෙරළී ගියා වූ වික්ෂිප්ත සිත් ඇති ව කට කෙළ සිඳී මේ මාගේ පිරිවර ජනයෝ මට නින්දා නො කෙරෙත්ව යි සිතා රාජාභිමානයෙන් ධෛර්යය උපදවා ගෙණ දෙවමන්ත්‍රියාහට මෙපවත් කීහ. (27) දෙවමන්ත්‍රිය, ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ මේ ය යි කියා මට නො කියව. නො කියන ලද්දා වූ මම නාගසෙනයන් වහන්සේ දැක ඇඳින ගණිමියි කීහ. යහපත දේවයන් වහන්ස, නුඹවහන්සේ ම හැඳින වදාළ මැනැවැයි කීයේ ය.

 

එසමයෙහි වනාහි ආයුෂ්මත් නාගසෙන ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන්ගේ පිරිසෙහි ඉදිරි පිටින් හුන් සතළිස්දහසක් භික්ෂූන් වහන්සේලාට බාලතර වූසේක. පසු ලා හුන් සතලිස්දහසක් භික්ෂූන් වහන්සේලාට වැඩිමහලු වූ සේක. එකල නැවැත මිලිඳු රජ්ජුරුවෝ ඒ සියලු ම භික්ෂු පිරිසි ඉදිරියේ හිඳ පස්සෙහිත් මධ්‍යයෙහිනුත් ඉදිරියෙනුත් ඔබිනොබ විමසා බලමින් පහව ගිය ලොමු දහ ගැණුම් ඇති ව දුරු ව ගිය භයශාරද්‍යයන් ඇති ව දුරු වූ භයභෙරව ඇති කෙසරසිංහරාජයකු මෙන් භික්ෂුසංඝයා මධ්‍යයෙහි වැඩ හුන්නා වූ ආයුෂ්මත් නාගසෙන ස්ථවිරයන් වහන්සේ දුරින් ම දුටුවෝ ම ය. දැක ආකාරයෙන් ම මෙතැන මේ වැඩ හිඳිනේ නාගසෙනයන්වහන්සේ යයි කියා දැන ගත්තෝ ය.

 

ඉක්බිති මිලිඳුරජ්ජුරුවෝ දෙවමන්ත්‍රියාට මෙපවත් කීහ. දෙවමන්ත්‍රිය, ආයුෂ්මත් නාගසේනයෝ මුන් වහන්සේ දැ?යි විචාළහ. එසේ ය. මහරජානන් වහන්ස, නාගසෙනයන්දෑ මුන්වහන්සේ ම ය. මහරජානෙනි, නුඹ වහන්සේ නාගසෙනයන් වහන්සේ දැන ගත්සේක. ඒ බව යහපතැයි කියා ප්‍ර‍ශංසා කෙළේ ය. ඉක්බිත්තෙන් කා විසිනුත් නො කියන ලද්දා වූ මා විසින් ම නාගසෙනයන්වහන්සේ දැන ගන්නා ලද්දේ යයි කියා සතුටු වූහ. ඉක්බිති මිලිඳුරජහට ආයුෂ්මත් නාගසෙනයන්වහන්සේ දකිමින් ම භය වූයේ ම ය. තැති ගැන්ම වූයේ ම ය. ලොමු දහ ගැන්ම වූයේ ම ය. එකල රජ්ජුරුවෝ පසළොස්චරණධර්මයෙන් සම්පන්න වූ ඉන්ද්‍රියසමනාදි වූ උත්තමදමනයෙහි ද යහපත් සෙයින් දමනය වූ නාගසෙනයන්දෑ දැක මේ වචනය කීහ. පෙර බොහෝ වූ අර්ථධර්මකථිකයෝ මා විසින් දක්නා ලද්දෝ ය. අර්ථධර්මප්‍ර‍ශ්න සාකච්ඡාවට බටුව වූ අයත් බොහෝ දෙනක. එතෙකුදු වුවත් අද මට උපන් තැති ගැන්ම යම් සේ ද, එබඳු වූ භයක් පෙර නුවූයේ ය. යම් ප්‍ර‍කාරයකින් මාගේ චිත්තය එකඟ ව නො සිටියේ ද, එපරිද්දෙනුත් අද මට පරාජය වෙයි. නාගසේනයන් වහන්සේට ම ජය වෙයි. සැක නැතැයි සිතුවේ ය. එහෙයින් ඒ බව හඟවන පූර්වාචාර්යයන් විසින් කියන ලදී:-

 

වරණෙනචෙව සම්පන්නං-සුදන්තං උත්තමෙ දමෙ,

දිස්වා රාජා නාගසෙනං-ඉදං වචනමබ්රැවි.

 

කථිකා මයා බහු දිට්ඨා-සාකච්ඡා ඔසටා බහූ,

තාදිසං භයං ආසි-අජ්ජ තාසො යථා මම.

 

නිස්සංසයං පරාජයො-මම අජ්ජ භවිස්සති,

ජයොච නාගසෙනස්ස-යථා චිත්තං සණ්ඨිතංයි.

 

සකලජනමනොනන්දනීය වූ මේ මිලිඳුපැන නම් වූ

ශ්‍රී සද්ධර්මාදාසයෙහි බාහිරකථාව කියා නිමවන ලදී.

 


පූර්‍වයොගප්‍රශ්නය යි.

 

(28) ඉක්බිති මිලිඳු රජ්ජුරුවෝ චතුරංගිණීසේනාව පිරිවරා ගෙණ යම් තැනෙක ආයුෂ්මත් නාගසෙනස්ථවිරයන් වහන්සේ වැඩ වසන සේක් ද, එතැන්හි එළඹියාහ. ‍එසේ එළඹ ආයුෂ්මත් වූ නාගසෙනස්ථවිරයන් වහන්සේ හා සමග සතුටු වූහ. සමඟ සතුටු විය යුතු වූ සිහි කට යුතු වූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්නාහ. ආයුෂ්මත් නාගසෙනස්ථවිරයෝ ද පිළිසඳර කථාවෙන් ම මිලිඳු රජ්ජුරුවන්ගේ සිත් ගෙණ වැඩ සිටිසේක. ඉක්බිති එකත්පස් ව හුන්නා වූ මිලිඳුරජ්ජුරුවෝ ආයුෂ්මත් නාගසෙනස්ථවිරයන්ට මෙපවත් කීහ. ස්වාමීනි, පින්වතුන් වහන්සේ කෙසේ දැනෙත්[37] ද? නුඹ වහන්සේ කවර නම් වූ[38] දැ? යි විචාළෝ ය. මහරජානෙනි, මම නාගසේනයයි දැනෙමි[39]. මහරජානෙනි, සබ්‍ර‍හ්මචාරීන් වහන්සේලා මට නාගසෙන ය යි කියති. තව ද නම් තබන්නා වූ දෙමවුපියෝ නාගසෙනයයි කියා හෝ සුරසෙනය යි කියා හෝ වීරසෙන ය යි කියා හෝ සිංහසෙන ය යි කියා හෝ නම් කෙරෙති. තවද මහරජානෙනි, යම් මේ නාගසෙන ය යි කියා සැලකිය යුතු වූ සංඥාමාත්‍ර‍ වූ ප්‍ර‍ඥප්තිව්‍යවහාරය නාමමාත්‍රයෙක. මෙහි නාගසෙන ය යි කියා පුද්ගලයෙක් නො ලැබෙන්නේ[40] යි කීසේක. ඒ අසා ඉක්බිති මිලිඳු රජ්ජුරුවෝ මෙසේ කීහ:- මේ සභායෙහි රැස් ව සිටිනා පන්සියයක් පින්වත් යොන්අමාත්‍යයෝ ද අසූදහසක් පමණ භික්ෂු සංඝයා වහන්සේ ද මාගේ වචනය ඇසුව මැනැව. මේ නාගසේනයන් වහන්සේ මෙහි නාගසෙන ය යි කියා පුද්ගලයෙක් නො ලැබෙන්නේ4 ය යි මෙසේ කීසේක. ඒ වචනයට සතුටු වන්නට යහපත් දැ? යි සියල්ලන්ට ම අස්වා කීහ.

 

නැවත මිලිඳු රජ්ජුරුවෝ ආයුෂ්මත් නාගසේනයන් වහන්සේට මෙපවත් කීහ:- ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉදින් පුද්ගලයෙක් නො ලැබේ නම්, කවරෙක් දැන් නුඹ වහන්සේට සිවුරු අහරසෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකර දේ ද? කවරෙක් ඒ දුන් සිවුපසය අනුභව කෙරේ ද? කවරෙක් සිල් රකී ද? කවරෙක් භාවනාවෙහි යෙදේ ද? කවරෙක් මාර්ගඵලනිර්වාණය සිද්ධ කෙරේ ද? කවරෙක් ප්‍රාණඝාත කෙරේ ද? කවරෙක් නුදුන් වස්තුව ගණී ද? කවරෙක් පඤ්චකාමයෙහි පරදාරයෙහි හැසිරේ ද? කවරෙක් බොරු කියා ද? කවරෙක් සුරාපානය කෙරේ ද? කවරෙක් පඤ්චානන්තරිය කර්මය කෙරේ ද? ඒ නිසා කුසල් නැත. අකුසල් නැත. කුශලාකුශලකර්මයන් කරණ කෙරෙණ හෝ කරවන කෙනෙක් හෝ නැත. කුශලාකුශලකර්මයන්ගේ ආනිසංසයත් නැත. විපාකත් නැත. එහෙයින් නාගසේනයන් වහන්ස, යමෙක් නුඹ වහන්සේ මරා ද, ඕහට ප්‍රාණඝාතඅකුශලය නැත. නාගසෙනස්වාමීනි, නුඹ වහන්සේටත් ගුරුහු නැත. උපාධ්‍යාය කෙනෙකුන් නැත. උපසම්පදාවක් නැත. මහරජ, මට සබ්‍ර‍හ්මචාරීන් වහන්සේලා නාගසෙන ය යි කියා වදාරණසේකැයි කියා යමක් නුඹ වහන්සේ කීසේක් ද, මෙහි නාගසෙන වූයේ කවරෙක් ද, කිමෙක් ද? ස්වාමීනි, හිසකේ නාගසෙන දැ? යි කීහ. නැත, මහරජානෙනි. (29) එසේ වී නම්, නියපොතු දත් සම් මස් නහර ඇට ඇටමිදුලු වකුගඩු හෘදයමාංස අක්මාව දලබුව බඩදිව පපුව බඩවැල අතුනුබහන උදරය මලය පිත් සෙම් සැරව ලේ ඩහදිය මේදතෙල් කඳුළු වුරුණුතෙල් කෙළ සොටු සඳමිදුලු මුත්‍ර‍ මස්තකයෙහි වූ හිස්මුල් නාගසෙන දැ? යි කීහ. නැත. මහරජානෙනි වදාළ සේක. කිමෙක් ද, ස්වාමීනි, එසේ වී නම් රූපය නාගසෙන දැ? යි කීහ. නැත, මහරජානෙනි. වේදනාව නාගසෙන දැ? යි කීහ. නැත මහරජානෙනි. සංඥාව නාගසෙන දැ?යි කීහ. නැත මහරජානෙනි. සංස්කාරය නාගසෙන දැ? යි කීහ. නැත මහරජානෙනි, විඥානය නාගසෙන දැ?යි කීහ. නැත මහරජානෙනි. කිමෙක්ද? ස්වාමීනි, රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන පස්කඳ නාගසෙන දැ? යි විචාළෝ ය. නැත මහරජානෙනි වදාළ සේක. කිමෙක් ද? ස්වාමීනි, රූප වේදනා සංඥා සංස්කාර විඥානය යන පසහැර නාගසෙන වනසේක් ද? යි විචාළෝ ය. නැත, මහරජානෙනියි වදාළසේක. කිමෙක් ද? ස්වාමීනි, මම නුඹ වහන්සේ අතින් විචාරන්නෙම්, නාගසෙන කෙනකුන් නො දක්නෙමි. ස්වාමීනි, ශබ්දය නාගසෙන වී ද? නුඹ වහන්සේ කී මේ වචනයෙහි වනාහි නාගසෙන වූයේ කවරෙක් ද? ස්වාමීනි, නුඹ වහන්සේ වචනාර්ථයෙන් සිස් වූ නාගසෙනයෙමි යි කියා මුසාවාදයක් කීසේක. නාගසෙන කෙනෙක් නැතැයි කීහ.

 

ඉක්බිති ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ මිලිඳු රජ්ජුරුවන්ට මෙපවත් කීසේක:- මහරජ, තෙපි වනාහි රාජසුඛමාල වූවහු ය. අත්‍යන්තයෙන් ම සිවුමැලි ය. මහරජානෙනි, මධ්‍යාහ්න වේලෙහි අව්වෙන් වියලී රත් වූ උණුවැලි ඇත්තා වූ ක්‍රෑර වූ භූමියෙහි ගල්බොරළු කැබැලිති වැලි මිරිකා ගෙණ පයින් එන්නා වූ ඒ තොපගේ පාදයෝ රුදා ගණිති. ශරීරය ක්ලාන්ත වෙයි. සිත කැලඹෙයි. දුක් සහ ගියා වූ කාය විඤ්ඤාණය උපදනේ ය. එහෙයින් කිමෙක් ද? තෙපි පයින් ම ආවහු ද? නොහොත් වාහනයක නැඟී ගෙණ ආවහු ද?යි විචාළසේක. ස්වාමීනි, මම පයින් නො ආයෙමි. රථයෙන් මම ආයෙමියි කීහ. මහරජ තෙපි ඉදින් රථයෙන් ආවහු නම්, රථය මට කියා දෙව. කිමෙක් ද? මහරජ, රථඉස රථය ද? යි විචාළසේක. නැත ස්වාමීනි, කීහ. රථඅකුර රථයදැයි විචාළසේක. නැත ස්වාමීනියි කීහ. රථචක්‍ර‍ය රථයදැයි විචාළසේක. නැත ස්වාමීනියි කීහ. රථපඤ්ජරය රථය ද? යි විචාළසේක. නැත ස්වාමීනියි කීහ. රථදණ්ඩකය රථයදැයි විචාළසේක. නැත ස්වාමීනියි කීහ. වියදණ්ඩ රථයද?. නැත ස්වාමීනියි කීහ. රථරෑන රථයද?. නැත ස්වාමීනියි කීහ. කෙවිටිලීය රථය දැ? යි විචාළ සේක. නැත ස්වාමීනියි කීහ. කිමෙක් ද? මහ රජ, රථඉස රථඅකුර රථචක්‍ර‍ය රථපඤ්ජරය රථදණ්ඩ වියරෑණ කෙවිට යන මේ සියල්ල ම රථය දැ? විචාළසේක. නැත ස්වාමීනි. කිමෙක් ද? මහරජානෙනි, රථඉස රථඅකුර රථචක්‍ර‍ය රථපඤ්ජරය රථදණ්ඩ රථවිය රථරෑණ රථකෙවිට හැර රථය ද? යි විචළසේක. නැත ස්වාමීනි යි කීහ.

 

එම්බා, මහරජානෙනි, මම තොප අතින් නැඟී ආ රථය විචාරන්නෙම් රථයක් නො දක්නෙමි. ශබ්දය ම මහරජානෙනි, රථය වී ද? තොප මේ කී වචනයෙහි රථය කවරේ ද? මහරජ, තෙපි බොරු වූ මුසාවාදයක් කීහු ය. ඇති රථයෙක් නැත. මහරජ, තෙපි සකල (30) ජම්බුද්වීපයෙහි අග්‍ර‍රාජතනතුරට පැමිණියහු. තෙපි වනාහි කවුරුන්ට භය ගෙණ කුමක් පිණිස මෙසේ බොරු කියවු ද? අහෝ! මෙතැන්හි රැස් වූ පන්සියයක් පමණ පින්වත් යොන්ඇමැතියන් හා මහසෙනඟත් අසූදහසක් පමණ මහාසංඝයා වහන්සේත් මාගේ වචනය ඇසුව මැනැව. මේ මිලිඳුරජ රථයෙන් මම ආයේ වීමියි මෙසේ කීයේ ය. දැන් මා විසින් මහරජ, ඉදින් තෙපි රථයකින් ආවහු වූ නම්, රථය මට කිව මැනැවැයි කියන ලදුයේ ම රථයෙක නමක් නැවත නො දක්වයි. ඒ කාරණයට[41] සන්තොස වන්නට යහපත් දැ?යි වදාළසේක.

 

නාගසෙන ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ කල්හි අතිප්‍ර‍සන්න වූ පන්සියයක් යොන් අමාත්‍යයෝ ආයුෂ්මත් නාගසෙන ස්ථවිරයන් වහන්සේට සාධුකාර දී මිලිඳුරජ්ජුරුවන්ට මේ වචනය කීවාහු ය:- දෙවයන් වහන්ස, මෙතෙක් දවස් කථාවට නිසි පණ්ඩිතකෙනෙකුන් නො ලත්සේක. අද දැන් නුඹ වහන්සේ බලා නොයිඳ සමර්ථසේක් වී නම් තෙල වචනයට උත්තර දී කථා කර වදාළ මැනැවැයි කීවාහු ය. ඒ අසා ඉක්බිති මිලිඳු රජ්ජුරුවෝ ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේට මෙපවත් කීහ:- ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මම බොරු කීවා නො වෙමි. රථ හිස නිසාත්-රථඅකුර නිසාත්-රථචක්‍ර‍ය නිසාත්-රථමැඳුර නිසාත්-රථදණ්ඩකය නිසාත්-රථවිය නිසාත්-රථරෑණ නිසාත්- කැවිට නිසාත්-මේ හැම එක් වූ කල රථය කියා සංඛ්‍යා, සංඥා, ප්‍ර‍ඥප්තිය ව්‍යවහාරය, නාමය යි කියා පවත්නේ යයි කීහ.

 

ඒ අසා නාගසෙන තෙරුන් වහන්සේ මහරජානෙනි, තොප කී රථයෙහි දැන් පූර්වාපරවිරොධයක් නැත. තෙපි රථය ඉඳුරා ම දන්නාහු[42] ම ය. මහරජානෙනි, එපරිද්දෙන් ම මාගෙත් හිසකේ නිසාත්-ලොමයන් නිසාත්-(දත් ආදි වූ) හිස්මුල් නිසාත්-රූපය නිසාත්-රූපය නිසාත්-වෙදනාව නිසාත්-සංඥාව නිසාත්-සංස්කාරය නිසාත්-විඥානය නිසාත්-මේ හැම එක්වූ කල නාගසෙන යයි කියා සංඛ්‍යා, සංඥා, ප්‍ර‍ඥප්ති, ව්‍යවහාර වූ නාගසෙන නාමමාත්‍ර‍යක් පවත්නේ ය. පරමාර්ථවශයෙන් වනාහි මෙහි

 

Images from the book_Page_1

නැවතත් රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙන ස්ථවිරයන් වහන්ස, නුඹ වහන්සේ මා හා සමග කථා කරණ සේක් දැ?යි කීහ. මහරජානෙනි, ඉදින් තෙපි පණ්ඩිත වාදයෙන් කථා කරවු නම්, මමත් කථා කෙරෙමියි ඉදින් රාජවාදයෙන් කථා කරවු නම්, මම කථා නො කෙරෙමියි වදාළසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පණ්ඩිතයෝ කෙසේ කථා කෙරෙද් දැ?යි විචාළෝ ය. මහරජානෙනි, පණ්ඩිතවරුන්ගේ කථාවෙහි ගම්භීරාර්ථ ඇති තද පද ගෙණ රැහැනින් වෙළන්නාක් මෙන් වෙහස දී ආවෙඨනයත් කරණු කැබෙයි. තද ගැට මුදන්නාක් මෙන් නො හැඟෙන අර්ථයන් තෙමේ ම තෝරා දෙමින් නිර්වෙඨනයත් කරණු ලැබෙයි. තමන් විචාළ අර්ථ ප්‍ර‍ශ්න තෝරා ලිය නො හෙන කල නැවැත නැවැතත් විචාරමින් නිග්‍ර‍හත් කරණු ලැබෙයි. එකට එක කිරීමෙන් ප්‍ර‍තිකර්මත් කරණු ලැබෙයි. තමන් දන්නා ශාස්ත්‍ර‍විශෙෂය දක්වමින් ප්‍ර‍තිවිශෙෂයත් කරණු ලැබෙයි.[43] තමන් ම උසස් කරන්නාක් මෙන් ප්‍ර‍තිවෙධයත් කරණු ලැබෙයි. එකල්හි ද පණ්ඩිතයෝ නො කිපෙති. මහරජානෙනි, මෙසෙයින් පණ්ඩිතවරු කථා කෙරෙතියි වදාළසේක.

 

ස්වාමීනි, රජහු කෙසේ කථා කෙරෙද් දැ?යි කීහ. මහරජානෙනි, රජහු වනාහි කථා කරණ කල එක වස්තුවක් මේ ලෙස ය යි කියා දන්වති. යම් කෙනෙක් ඒ කාරණය වරදවා කීවෝ නම් මොහුට දඬුවම් පණවවු කියා ඕහට දඬුවම් කරන්නට ආඥා කෙරෙති. මහරජානෙනි, රජදරුවෝ මෙසේ කථා කෙරෙතියි වදාළසේක. එසේ වී නම්, ස්වාමීනි, මම පණ්ඩිත වාදයෙන් කථා කෙරෙමි. (32) රාජවාදයෙන් කථා නො කෙරෙමි. පින්වතුන් වහන්සේ සැක නො කොට කථා කළ මැනැව. යම් සේ භික්ෂූන් වහන්සේ නමක් හා සමඟ හෝ සාමණේර නමක් උපාසක ආරාමික කෙනෙකුන් සමඟ හෝ කථා කරණසේක් ද, එපරිද්දෙන් ම කිසි සැකයක් නැතු ව පින්වතුන් වහන්සේ කථා කළ මැනැව. මා රජ ය යි සිතා භය නො ගෙණ වදාළ මැනැවයි කීහ. යහපත මහරජානෙනි, යි කියා තෙරුන් වහන්සේ සම්මුඛයෙහි ම ඉවසූසේක.

 

එකල රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍ර‍ශ්නයක් අසමියි කීහ. මහරජ, විචාරවයි වදාළසේක. ස්වාමීනි, මා විසින් ප්‍ර‍ශ්නය අසල ලද්දේ යයි කීහ. මා විසින් ප්‍රශ්නය විසඳන ලද්දේ යයි වදාළසේක. ස්වාමීනි, නුඹ වහන්සේ විසින් විසඳන ලද්දේ කිමෙක් දැ?යි කීහ. මහරජ, තොප විසින් විචාළේ කිමෙක් දැ?යි වදාළසේක. ඉක්බිති මිලිඳු රජහට මෙබඳු කල්පනාවෙක් වී ය:- මේ මහණුන්නාන්සේ පණ්ඩිත වූසේක. මා හා සමඟ කථා කරන්ට සමර්ථසේක. මා විසින් ද බොහෝ වූ කාරණයෝත් ඇසිය යුත්තාහු වෙති. යම්තාක් ඒ කාරණයෝ[44] තව ම නො අසන ලද්දාහු ම වෙති. එතෙකුදු වුවත් හිරු අස්තංගත වි ය.

 

එසේ හෙයින් මම හෙට දවස්හි මාගේ ඇතුළුරජගෙයි දී කථා කෙළෙම් වීම් නම්, ඉතා යෙහෙකැයි සිතා නැවැත මිලිඳුරජ්ජුරුවෝ දෙවමන්ත්‍රියාට මෙපවත් කීහ.[45]

 

දෙවමන්ත්‍රිය, අද සවස් වී ය. එසේ හෙයින් තොප සෙට දවස්හි ඇතුළුරජගෙයි දී රජ්ජුරුවන් සමඟ කථාසල්ලාපය වන්නේය යි කියා පින්වතුන් වහන්සේට කියවයි කියා මේ වචනය කියා මිලිඳුරජ්ජුරුවෝ හුන් ආසනයෙන් නැඟී සිට නාගසෙන තෙරුන් වහන්සේට ආමන්ත්‍ර‍ණය කොට සමු ගෙණ අශ්වවාහනයකට පැන නැඟී නාගසෙන යි කියා සජ්ඣායනා කෙරෙමින් ගියාහ. ඉක්බිති දෙවමන්ත්‍රියා ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේට මෙපවත් කීයේ ය:- ස්වාමීනි, අපගේ මිලිඳු රජ්ජුරුවෝ සෙට් දවස ඇතුළු රජගෙයි දී කථා කිරීම වන්නේ ය යි කියා මෙසේ සැළකරන්නට කීසේකැයි කීයේ ය. තෙරුන් වහන්සේ ද යහපතැයි කියා ඉවසූසේක.

 

ඉක්බිත්තෙන් එදවස් රාත්‍රියාගේ ඇවෑමෙන් දෙවමන්ත්‍රි නම් අමාත්‍යයා ද අනන්තකාය නම් අමාත්‍යයා ද, මංකුර නම් අමාත්‍යයා ද, සබ්බදින්න නම් අමාත්‍යයා ද යන සතරදෙන යම් රජගෙයක මිලිඳු රජ වෙසේ ද, එතැනට එළඹියෝ ය. එසේ එළඹ මිලිඳුරජහට මෙපවත් කිවු ය. දෙවයන් වහන්ස, අද රජගෙයි දී වැළඳීමට භවත් නාගසෙනයන් වහන්සේ එනසේක් දොහො?යි විචාළෝ ය. එසේ ය, දන් වැළඳීමට වැඩිය මැනැවැ යි කියා ආරාධනා කරවයි කීහ. ස්වාමීනි, කොපමණ වූ සංඝයා සමඟ වඩනාසේක් දැ?යි විචාළෝ ය යම් පමණ සංඝයා කැඳවා ගෙණ වඩින්ට කැමැති නම් එපමණ සංඝයා සමඟ වැඩිය මැනැවැයි කියා ආරාධනා කරවයි කීහ. නැවතත් සබ්බදින්නයා දේවයන් වහන්ස, දසනමක් හා සමඟ වැඩිය මැනැවැ යි කියා ආරාධනා කෙරෙම් ද? යි කීය. දෙවනු රජ්ජුරුවෝ යම් පමණ සංඝයා උන්වහන්සේට අභිප්‍රාය නම් එපමණ සංඝයා හා සමඟ වැඩිය මැනැවැ යි (33) කියා ආරාධනා කරවයි කීහ. සබ්බදින්නයා දෙවනුත් දේවයන් වහන්ස, දසනමක් සමඟ වඩින්ට ආරාධනා කෙරෙම් දැ?යි කී හ. රජ්ජුරුවෝ තුන්වෙනුවත් යම් පමණ සංඝයා කැඳවා ගෙණ වඩින්නට උන්වහන්සේ කැමැති නම්, එපමණ වූ සංඝයා සමඟ වැඩිය මැනැවැ යි කියා ආරාධනා කරවයි කීහ.

 

එකල සබ්බදින්න නම් ආමාත්‍යයානෝ, අසූදහසක් පමණ මහා සංඝයා වහන්සේ රජගෙට රැස් වූ කල දැන් අමුතු දනක් සරහා පියන්ට කල් නැති හෙයින් දානොපකරණය කෙසේ දෝ හො?යි රජුගේ සිත් කෙසේ දෝහො?යි පරීක්ෂා කරණු පිණිස තුන්වැනිවත් දෙවයන් වහන්ස, දසනමක් හා සමඟ වැඩිය මැනැව යි කියා ආරාධනා කෙරෙම් ද?යි කීහ. එබසට රජ්ජුරුවෝ කියන්නාහු සියලු ම දානොපකරණ පිළියෙල කරණ ලද්දේ ය. එබැවින් යම්පමණ සංඝයා උන්වහන්සේට කැමැති නම් එපමණ සංඝයා හා සමඟ වඩින්ට ආරාධනා කරවයි කියා මම කියමි. එම්බා සගයෙනි, මේ සබ්බදින්න අමාත්‍යයා මා හා සමඟ අනික් ප්‍ර‍කාරයකින් කථා කරන්නේ ය. කිමෙක් ද, අපි අසූදහසක් පමණ භික්ෂූන් වහන්සේලාට ආහාර දන් දෙන්ට අසමර්ථමෝ දැ?යි මෙසේ මිලිඳු රජ්ජුරුවන් කී කල්හි සබ්බදින්නයා නිස්තේජස්ක ව ඉවත් විය. ඉක්බිති දෙවමන්ත්‍රි නම් අමාත්‍යයා ද අනන්තකාය නම් අමාත්‍යයා ද, මංකුර නම් අමාත්‍යයා ද යන තුන්දෙන රජ්ජුරුවන් වැඳ අවසර ගෙණ යම් සංඛෙය්‍ය නම් පිරිවෙණක ආයුෂ්මත් නාගසෙන ස්ථවිරයන් වහන්සේ වැඩ වසනසේක් ද, එතැනට එළඹියාහු ය. එසේ එළඹ ආයුෂ්මත් නාගසේනයන් වහන්සේට මෙපවත් කීවාහු ය:- ස්වාමීනි, අපගේ මිලිඳුරජ්ජුරුවෝ නාගසෙනයන් වහන්සේ යම් පමණ සංඝයා කැඳවා ගෙණ වඩින්ට කැමතිසේක් නම්, එපමණ සංඝයා හා සමඟ රජගෙට වළඳන්ටඑනසේක්වායි මෙසේ කියා අප ආරාධනාවට එවූසේකැයි කියා ආරාධනා කළෝ ය.

 

ඉක්බිති ආයුෂ්මත් නාගසෙනස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි සකස් කොට හැඳ පෙරෙව කයින් සිවුරු හා අතින් පාත්‍ර‍ය ගෙණ අසූදහසක් පමණ සංඝයා හා සමග සාගල්නුවර කරා වැඩිසේක. ඉක්බිති අනන්තකාය නම් අමාත්‍යයා ආයුෂ්මත් නාගසෙනයන් වහන්සේ නිසා කැටු ව ම යෙමින් ආයුෂ්මත් නාගසේනයන් වහන්සේට මෙපවත් කීයේ ය:- ස්වාමීනි, නාගසෙන ස්ථවිරයන් වහන්ස, නාගසෙන යි කියා යම් මේ නමක් කියම් ද, මෙකී නාමයෙහි නාගසෙන වූයේ කවරේ දැ?යි කී ය. එකල තෙරුන් වහන්සේ මෙහි වනාහි තෙපි කවරෙක් නාගසෙනය. ය යි කියා සිතන්නාහු දැ? යි කීසේක. ස්වාමීනි, අභ්‍යන්තරයෙහි යම් ඒ ජීව වූ ප්‍රාණවාතය ප්‍ර‍වෙශ වේ ද, පිටතට නික්මේ ද, ඒ වාතය තෙම නාගසෙන ය යි කියා සිතමි යි කී ය. අනන්තකායයෙනි, ඉදින් වනාහි මේ ප්‍රාණවාතය නික්ම ගොස් ප්‍රවෙශ නො වූයේ වී නම් ප්‍රවෙශ ව හෝ නික්මුනේ වී නම්, ඒ පුරුෂතෙම ජීවත් වේ ද? යි විචාළසේක. නැත, ස්වාමීනි, යි කී ය. මෙ නුවර සංඛනාද කරන්නා වූ යම් කෙනෙක් සක් පිඹිති. ඔවුන්ගේ පිඹපු වාතය නැවත ප්‍රවෙශ වේ ද?යි විචාළසේක. නැත, ස්වාමීන් වහන්සැ යි කී ය. මෙ නුවර වස් කුලල් ආදිය පිඹින්නා වූ යම් කෙනෙක් වස් කුලල් ආදිය පිඹිති. ඔවුන්ගේ ඒ (34) පිඹපු වාතය නැවත ප්‍රවෙශ වේ දැ? යි විචාළසේක. නැත ස්වාමීනි, යි කීය. මෙ නුවර අඟෙන් කළ සොරණෑ ආදිය පිඹින්නා වූ යම් කිසි කෙනෙක් ශෘංග පිඹිති. ඔවුන්ගේ ඒ පිඹිපු වාතය නැවත ප්‍රවෙශ වේ දැ?යි විචාළ සේක. නැත. ස්වාමීනියි කී ය, හේ කිමෙක් ද? කුමන කාරණයක් පිණිස ඒ සංඛ වංශ ශෘංග ධමකයෝ නො මියෙන්නාහු දැ?යි විචාළසේක. ස්වාමීනි, නුඹ වහන්සේ වැනි ප්‍රාඥ[46] වාදීන් සමග කථා කරන්නට මම සමර්ථ නො වෙමි. ස්වාමීනි, මනා කොට මට වැටහෙන ලෙසට අර්ථ වදාළ මැනැවැයි ආරාධනා කෙළේ ය. අනන්තකායයෙනි, මේ අභ්‍යන්තරගත වාතයතෙම ජීවිතය නො වෙයි. ආශ්වාසප්‍ර‍ශ්වාසයෝ නම් වෙති. මේ ආශ්වාසප්‍ර‍ශ්වාසයෝ කායසංස්කාරයෝ ය යි කියා තෙරුන් වහන්සේ අභිධර්මකථාවක් කර වදාළසේක. එකල අනන්තකාය නම් අමාත්‍යයා අතිප්‍ර‍සන්න ව තමාගේ උපාසකභාවය දන්වමින් කැටි ව ගියේ ය.

 

මෙසේ අනන්තකාය නම් අමාත්‍යයා පහදවමින් නැවත ආයුෂ්මත් නාගසෙන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක මිලිඳුරජහුගේ නිවෙසනය ද, එතැන්හි එළඹිසේක. එසේ එළඹ පණවන ලද දීර්ඝාසනයෙහි අසූදහසක් පමණ රහතුන් සමඟ වැඩ සිටිසේක.

 

ඉක්බිති මිලිඳු රජානෝ අසූදහසක් පිරිවර සහිත වු ආයුෂ්මත් නාගසෙන ස්ථවිරයන් ප්‍ර‍ණීත වූ ඛාද්‍යභොජ්‍යආහාරයෙන් ස්වහස්තයෙන් වළඳවා නැවැත නැවැතත් පෙරැත්ත කොට වළඳවා පස්පලවතින් යුත් දැහැත් පුදා එකෙක භික්ෂුනමක්හට එකෙක පිළී සඟළ බැගින් අසූදහසක් මහසඟනට අසූදහක් පිළීකට්ටු අච්ඡාදනය පිණිස පූජා කොට ආයුෂ්මත් නාගසෙන ස්ථවිරයන් තුන්සිවුරකින් අච්ඡාදනය කරවා ආයුෂ්මත් නාගසෙන ස්ථවිරයන්ට මෙපවත් කී හ:- ස්වාමීනි, නාගසෙන ස්ථවිරයන් වහන්ස, දස නමක් සමග මෙහි වැඩ හුන මැනැව. අවශෙස සංඝයා වහන්සේ වෙහෙරට වඩනාසේක්වයි කීහ.

 

ඉක්බිති මිලිඳු මහරජානෝ ආයුෂ්මත් නාගසෙනස්ථවිරයන් වහන්සේ වළඳා ඉක්බිති පාත්‍ර‍ය ඉවත් කොට පාත්‍රයෙන් පහ කරණ ලද අත් ඇති ව වැඩහුන් බව දැන එක්තරා නිචාසනයක් ගෙණ එකත්පස් ව හුන්නාහ. එකත්පසෙක හුන්නා වූ මිලිඳු රජානෝ ආයුෂ්මත් නාගසෙනස්ථවිරයන් වහන්සේට මෙපවත් කීහු:- ස්වාමීනි, නාගසෙන ස්ථවිරයන් වහන්ස, කවර ලෙසකින් අපගේ කථාසල්ලාපය යුතු වේ දැ? යි විචාළෝ ය. මහරජානෙනි, අපි අර්ථයෙන් ප්‍රයොජන කැමැතියම්හ. එබැවින් අර්ථයෙන් ම අපගේ කථාසල්ලාපය යුක්ත වෙයි වදාළසේක. එකල මිලිඳුමහරජානෝ ස්වාමීනි, නාගසෙනස්ථවිරයන් වහන්ස, නුඹ වහන්සේලාගේ ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව කවර අර්ථයක් පිණිස ද? නුඹවහන්සේලාගේ පරමාර්ථය කවරේ ද?යි කීහ. එකල තෙරුන් වහන්සේ කිමෙක් ද? මහරජානෙනි, මේ වර්තමාන වූ දුක්ඛය නිරුද්ධ වේ ද, අනික් දුකක් නූපදී ද, මහරජානෙනි, අපගේ ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව මේ අර්ථය පිණිස ය. තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් කිසිවක් නො ගෙණ අනුපාදිශෙෂපරිනිර්වාණය අපගේ පරමාර්ථයයි වදාළසේක. කිමෙක් ද? ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙලොව සියල්ලෝ ම මෙම අර්ථය පිණිස ම පැවිදි (35) වන්නාහු දැ? යි විචාළෝ ය. නැත මහරජානෙනි, කිසිකෙනෙක් මෙම අර්ථය පිණිස පැවිදි වෙති. සමහර කෙනෙක් රාජභයින් පැවිදි වෙති. කිසි කෙනෙක් සොරභයින් පැවිති වෙති. කිසි කෙනෙක් නය දී ගත නො හැකි ව මහණ වෙති. සමහර කෙනෙක් ජීවිකාව පිණිස පැවිදි වෙති. යම් කෙනෙක් මනා කොට පැවිදි වෙද් ද, ඔහු මෙම අර්ථය පිණිස පැවිදි වන්නාහු යයි වදාළසේක. ස්වාමීනි, නුඹවහන්සේ මෙම අර්ථය පිණිස පැවිදි වූසේක් දැ? යි විචාළෝ ය. මහරජානෙනි, මම ලදරුකම ඇත්තේ ම පැවිදිවන[47] ලද්දෙමි. මෙනම් අර්ථය පිණිස පැවිදි වෙමි යි කියා නො දත්තෙමි[48]. එතෙකුදු වුවත් මේ ශ්‍ර‍මණ වූ ශාක්‍යපුත්‍රයෝ පණ්ඩිතයෝ ය. උන්වහන්සේලා මා ශික්ෂණය කරණසේක්ලා ය යි කියා මට මේ ආකාර සිතෙක් වූයේ ය. ඒ මම උන් වහන්සේලා විසින් ශික්ෂණය කරණ ලද්දෙමි. මෙ නම් අර්ථය පිණිස ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව වන්නේ ය යි කියා දෙන්නෙමි. ප්‍රයොජනය ද දක්නෙමි වදාළසේක. ඒ අසා මිලිඳුමහරජානෝ ස්වාමීනි, නාගසෙන ස්ථවිරයන් වහන්ස, වදාළ ලෙස යහපත් වී ය යි කියා ප්‍ර‍ශංසා කළෝ ය.

 

නැවතත් මිලිඳු මහරජානෝ ස්වාමීනි, නාගසෙන ස්ථවිරයන් වහන්ස, කාලක්‍රියා කරණ ලදු ව නො පිළිසිඳ ගන්නේ ය යි යන කිසිවෙක් ඇද්දැ? යි කීහ. මහරජ, කිසිවෙක් පිළිසිඳ ගන්නේ ය. කිසිවෙක් නො පිළිසිඳ ගන්නේ ය යි කියා තෙරුන් වහන්සේ වදාළසේක. කවරෙක් පිළිසිඳ ගණී ද? කවරෙක් නො පිළිසිඳ ගණීදැ? කවරෙක් නො පිළිසිඳ ගණීදැ? යි කීහ. මහරජ, ක්ලේශ සහිත වූ සත්වතෙම පිළිසිඳ ගන්නේ ය. නික්ලේශි වූ සත්වතෙම නො පිළිසිඳ ගන්නේ යයි වදාළසේක. ස්වාමීනි, නුඹ වහන්සේ මතු පිළිසිඳ ගන්නාසේක් දැ? යි කීහ. මහරජානෙනි, ඉදින් උපාදාන සහිත1 වීම් නම්, පිළිසිඳ ගන්නෙමි, ඉදින් උපාදානයන් නැත්තේ වීම් නම් නො පිළිසිඳ ගන්නෙමි යි වදාළසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, වදාළ පරිදි අතිමනොඥ වී ය යි ප්‍ර‍ශංසා කළෝ ය. ස්වාමීනි, නාගසෙන ස්ථවිරයන් වහන්ස, යමෙක් නො පිළිසිඳ ගන්නේ වී නම්, කිමෙක් ද? ඒ පුරුෂතෙම යොනිසො මනස්කාරය කරණ කොට ගෙණ නො පිළිසිඳ ගන්නේ දැ? යි කියා රජ්ජුරුවෝ විචාළහ. මහරජානෙනි, යොනිසො මනස්කාරයෙන් ද ප්‍ර‍ඥාවෙන් ද අනිකුත් කුශලධර්මයෙන් දැ? යි වදාළසේක. එසේ වී නම්, ස්වාමීනි, යොනිසො මනස්කාරය ම ප්‍ර‍ඥාව දැ? යි කීහ. නැත, මහරජ. මනස්කාරය අනිකෙක. ප්‍ර‍ඥාතොම අනිකක. මහරජ, අජෙළක ගව, මහිස, ඔටු, බැටළු යන මොවුන්ටත් ආභොගමනස්කාරය ඇත. ප්‍ර‍ඥාව වනාහි ඔවුන්ට නැතැ යි වදාළසේක. ස්වාමීනි, නාගසෙන ස්ථවිරයන් වහන්ස, විසඳා වදාළ නියාව ඉතා මනොඥ වී ය යි කියා ප්‍ර‍ශංසා කළෝ ය.

 

ස්වාමීනි, මනස්කාරය කුමන ලක්ෂණ ද? ප්‍ර‍ඥාතොමෝ කුමන ලක්ෂණ දැ යි රජ්ජුරුවෝ කීහ. මහරජ, මනස්කාරය ඌහන ලක්ෂණ ය යි කියන ලද දැඩි කොට ගැන්ම ස්වභාව කොට ඇත්තේ ය. ප්‍ර‍ඥාව ඡෙදනලක්ෂණයයි කීසේක. ඒ දැඩිකොට ගැන්ම ලක්ෂණ වූ මනස්කාරය කෙසේ ද? ඡෙදනලක්ෂණ වූ ප්‍ර‍ඥාව කෙසේ ද? උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජ, තෙපි යවලාවකයන් දන්නාහුදැයි විචාළසේක. එසේ ය. ස්වාමීනි දනිමි යි කීහ. මහරජ, යව නම් වූ ශස්‍යජාතිය කපන්නා වූ (36) යවලාවකයෝ යව කෙසේ කපන්නාහු දැ? යි කීසේක. ස්වාමීනි, වම් අතින් යව අහුර අල්වා ගෙණ දකුණතින් දෑකැත්ත ගෙණ ශස්‍යයන් කපන්නාහු ය යි කීහ. මහරජ, යම් සේ යව ලාවකතෙම වම් අතින් යව අහුර අල්වා ගෙණ දකුණතින් දෑකැත්ත අල්වා ගෙණ දෑකැත්තෙන් යව කපන්නේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම නිවන් පිණිස ව්‍යායාම කරණ යොගාවචරතෙම මනස්කාරයෙන් සිත අල්වා ගෙණ ප්‍ර‍ඥා නමැති දෑකැත්තෙන් කෙලෙස් නමැති සොරුන් සිඳින්නේ ය. මහරජ, මෙසේ මනස්කාරය ඌහන ලක්ෂණ වන්නේ ය. ප්‍ර‍ඥාව මෙසේ ඡෙදන ලක්ෂණ වන්නේ ය යි කීසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍ර‍ශ්නය විසඳා වදාළ නියාව[49] ඉතා යහපත. ඉතා මනොඥ වී ය යි කියා ප්‍ර‍ශංසා කළෝ ය.

 

ස්වාමීනි, නාගසෙන ස්ථවිරයන් වහන්ස, අනිකුත් කුශලධර්මයෙනුත් නො පිළිසිඳ ගැණීම වන්නේ ය යි කියා යම් මේ වචනයක් වදාළ සේක් ද, ඒ කුශලධර්මයෝ කවුරුදැ? යි කියා රජ්ජුරුවෝ විචාළෝ ය. මහරජානෙනි, ශීල ය, ශ්‍ර‍ද්ධාව, වීර්යය, සිහිය, සමාධි ය යන මේ ඒ කුශලධර්මයෝ ය යි කීසේක. ස්වාමීනි, ශීලය කවර ලක්ෂණ දැ? යි කීහ. මහරජානෙනි, ශීලය ප්‍ර‍තිෂ්ඨාන ලක්ෂණ වන්නේ ය. සියලු ම කුශලධර්මයන්ට ද ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග, මාර්ග, සතිපට්ඨාන, සම්‍යක්ප්‍ර‍ධාන, සෘද්ධිපාද, ධ්‍යාන, විමොක්ෂ, සමාධි, සමාපත්තීන්ට ද ශීලය ම ප්‍ර‍තිෂ්ඨා වන්නේ ය. මහරජානෙනි, ශීලයෙහි පිහිටියහුගේ සියලු ම කුශලධර්මයෝ නො පිරිහෙන්නාහු ය යි කීසේක. ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනවැ යි කීහ. මහරජානෙනි, යම්කිසි බීජගාම භූතගාම කෙනෙක් වෘද්ධියට පතළ වීමට විපුලභාවයට යම් සේ පැමිණෙද් ද, ඒ මේ සියලු ම බීජගාම භූතගාමයෝ පෘථිවිය නිසා ම පෘථිවියෙහි පිහිටාම මෙසේ වෘද්ධියට පතළ වීමට විපුලභාවයට පැමිණෙන්නාහ. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගාවචරතෙම ශීලය නිසා ම ශීලයෙහි පිහිටා සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යන පඤ්චේන්ද්‍රියයන් වඩන්නේ ය යි වදාළසේක.

 

නැවතත් උපමාවක් කර වදාළ මැනැවයි කීහ. මහරජානෙනි, යම් කිසි කෙනෙකුන් ශරීරබලයෙන් කට යුතු වූ කර්මාන්තයෝ යම් පරිද්දෙකින් කරණු ලැබෙද් ද, ඒ සියලු ම බලයෙන් කට යුතු කර්මාන්තයෝ පෘථිවිය නිසා ම මේ පෘථිවියෙහි පිහිටා ම මෙපරිද්දෙන් ම කරණු ලැබෙති. මහරජ, එපරිද්දෙන් ම යොගාවචර තෙම ශීලය නිසා ද ශීලයෙහි ම පිහිටා සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යන (37) මේ පඤ්චේන්ද්‍රියයන් වඩන්නේ ය යි කියා වදාළසේක.

 

ස්වාමීනි, තවත් නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජානෙනි, යම් සේ නුවරක් මවනු කැමැත්තා වූ නුවර වඩ්ඪකි පුද්ගලතෙම පළමු කොට නුවර කරණ ස්ථානය පිරිසිදු කොට කණු කටු පහරවා භූමිය සම කරවා එයින් මෑත භාගයෙහි සතර වීථි, සතර මං සන්ධි ආදිය පරිච්ඡෙද වශයෙන් බෙදා යහපත් නුවරක් මවන්නේ ය. මහරජ, එපරිද්දෙන් යොගාවචරතෙම ශීලය නිසා ම ශීලයෙහි පිහිටා අශ්‍ර‍ද්ධාව මැඩ පවත්වා ප්‍ර‍ධානත්වයට ගිය හෙයින් සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යන මේ පඤ්චේන්ද්‍රියයන් වඩන්නේ ය යි වදාළසේක.

 

ස්වාමීනි, තවත් උපමාවක් කර වදාළ මැනැවැ යි කීහ. මහරජානෙනි, යම් සේ පිනුම්කාර පුරුෂතෙම තමා ශිල්ප දක්වනු කැමති වූයේ පෘථිවිය සාරවා හෝ කොට ගල්කැට කැබිලිති කටු දුරු කරවා භූමිය සම කරවා මෘදු වූ භූමියෙහි ශිල්ප දක්වන්නේ ය. මහරජ, එපරිද්දෙන් ම නිවන් සොයන යොගාවචරතෙම ශීලය නිසා ශීලයෙහි ම පිහිටා සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යන මේ පඤ්චේන්ද්‍රියයන් වඩන්නේ ය. මහරජ, අප භාග්‍යවත් වූ සුගතතථාගතයන් වහන්සේ විසිනුත් මෙම කාරණය[50] වදාරණ ලදී:-

 

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො-චිත්තං පඤ්ඤඤ්ච භාවයං,

ආතාපී නිපකො භික්ඛු-සො ඉමං විජටයෙ ජටං.

අයං පතිට්ඨා ධරණිව පාණිනං-ඉදං මූලං කුසලාභිවුඬියා,

මුඛඤ්චිදං සබ්බජිනානුසාසනෙ-යො සීලක්ඛන්ධො වරපාති මොක්ඛියොයි

 

යනුවෙන් සප්‍රාඥ වූ යම් මනුෂ්‍යජනයෙක්තෙම ශීලයෙහි පිහිටා චිත්තය හා ප්‍ර‍ඥාව වඩවමින් කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ ද, ඒ ප්‍ර‍ඥාවත් මහණතෙම මේ තෘෂ්ණා නමැති අවුල හරින්නේ ය යි යනු ද, උතුම් වූ යම් ප්‍රාතිමොක්ෂශීලස්කන්ධයෙක් ඇද් ද, ඒ මේ ශීලස්කන්ධය සකල ප්‍රාණීන්ට මහපොළොව මෙන් නිවන් පතන උත්තමයන්ට ප්‍ර‍තිෂ්ඨාධාර වන්නේ ය. සියලු ම කුශලාභිවෘද්ධියට මේ ශීලය ම මූල කාරණා වන්නේ ය. සියලු සර්වඥවරයන්ගේ අනුශාසනයෙහි මේ ශීලය ම ප්‍ර‍ධාන වන්නේ ය යි කියා මේ ජිනදෙශනාවකුත් ගෙණ හැර දක්වා වදාළසේක. ඒ අසා නාගසෙන ස්ථවිරයන් වහන්ස, ඉතා යහපත. දක්ෂ වූ සේකැයි කියා ප්‍ර‍ශංසා කළෝ ය.

 

මිලිඳු මහරජානෝ නැවතත්, ස්වාමීනි, නාගසෙන ස්ථවිරයානෙනි ශ්‍ර‍ද්ධාව කවර ලක්ෂණ දැ? යි කීහ. මහරජානෙනි, ශ්‍ර‍ද්ධාව සම්ප්‍ර‍සාදන ලක්ෂණ ද, සම්පක්ඛන්දන[51] ලක්ෂණ ද, වෙ යි වදාළසේක. ස්වාමීනි, සම්ප්‍ර‍සාදන ලක්ෂණ වූ ශ්‍ර‍ද්ධාව කෙසේ දැ? යි කීහ. මහරජානෙනි, උපදනා වූ ශ්‍ර‍ද්ධාතොමෝ පඤ්චනීවරණයන් ඔබා මැඩ පවත්නේ ය. නීවරණයන් කෙරෙන් මිදුනා වූ සිත ප්‍ර‍සන්න ව විශෙෂයෙන් ප්‍ර‍සන්න ව නො කැලඹෙන ලද්දේ වෙයි. මහරජ, සම්ප්‍ර‍සාදනලක්ෂණ වූ ශ්‍ර‍ද්ධාව මෙබඳු ය යි වදාළසේක. ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැ යි කීහ.

 

මහරජානෙනි, යම් සේ චක්‍ර‍වර්තිරජ්ජුරුවෝ චතුරංගිණී සෙනාව හා සමඟ දීර්ඝ වූ මාර්ගයට පැමිණෙමින් ස්වල්ප වූ ජලය ඇති ඇළකඳුරකින් හෝ එතෙර වන්නාහු නම්, ඒ ස්වල්ප වූ ජලය හස්තිසේනාවගෙන් ද, අශ්වසෙනාවගෙන් ද, රථ සෙනාවගෙන් ද, පාබලසෙනාවගෙන් ද, ඔබිනොබ කැලඹෙමින් ක්ෂුභිත වන්නේ ය. බොර වන්නේය. මඩත් දියත් එකට ලෙළ දෙන්නේ ය. ජලය හා කලල්මඩගෝරු වන්නේ ය. ඒ ස්වල්ප වූ ඇළකඳුරෙන් එතෙර වූ චක්‍ර‍වර්ති රජ්ජුරුවෝ, සගයෙනි, පැන් ගෙණෙව්. පානය කෙරෙමියි කියා මනුෂ්‍යයන්ට අණවා කියන්නෝ ය. රජහුගේ ද පැන් පහදවන්නා වූ මාණික්‍යරත්නයෙක් ඇති වන්නේ ය. එසේ ය. දෙවයන් වහන්සැයි කියා මනුෂ්‍යයෝ චක්‍ර‍වර්තිරජ්ජුරුවන්ගේ වචනය අසා ඒ උදකප්‍ර‍සාදක වූ මාණික්‍ය (38) රත්නය ගෝරුමඩදියෙහි දැමුවාහු නම්, ජලයෙහි ඒ මාණික්‍යය දැමූ කල්හි ම දියසක් දියසෙවෙල් දියපරඬලා පහ වන්නේ ය. මඩ සිඳී ගිලී යන්නේ ය. ජලය ද බොර නැති ව අතිප්‍ර‍සන්න ව පැහැදීම වන්නේ ය. එයින් පැන් ගෙණ චක්‍ර‍වර්ති රජහුට දෙවයන් වහන්ස, පැන පානය කරණ සේක්වයි කියා පැන් ලඟට ගෙණ ගොස් පිරිනමන්නාහු ය.[52] මහරජානෙනි, බොර වූ ජලය යම් සේ ද, එපරිද්දෙන් සිත දත යුතු ය. පැන් පහදවන්නට ගිය ඒ මනුෂ්‍යයෝ යම් සේ ද, එපරිද්දෙන් නිවන සොයන යොගාවචරතෙම දත යුතු ය. දියසක්, දියසෙවෙල්, දියපරඬලා බොරමඬ යම් සේ ද, එපරිද්දෙන් ක්ලේෂයෝ දත යුත්තාහ. උදකප්‍ර‍සාදක වූ මාණික්‍යය යම් සේ ද, එපරිද්දෙන් ශ්‍ර‍ද්ධාව දත යුතු ය. යම් සේ උදක ප්‍ර‍සාදක වූ මාණික්‍යරත්නය ජලයෙහි ප්‍ර‍ක්ෂේප කළ මාත්‍රයෙහි ම දියසක්, දියසෙවෙල්, දියපරඬලා පහව යේ ද, මඩ සිඳී ගියේ ද, බොර නැති ව අති ප්‍ර‍සන්න ව ජලය නිර්මල වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම උපදනා වූ ශ්‍ර‍ද්ධාතොමෝ පංචනීවරණයන් මැඩ පවත්නේ ය. එහෙයින් පඤ්ච නීවරණයන් කෙරෙන් මිදුනා වූ කිසි කැලඹීමක් නැත්තා වූ අතිප්‍ර‍සන්න වූ සිත නිර්මල වන්නේ ය. මහරජානෙනි, සම්ප්‍ර‍සාදනලක්ෂණ වූ ශ්‍ර‍ද්ධාව මෙබඳු යයි වදාළසේක.

 

ස්වාමීනි, සම්පක්ඛන්දනලක්ෂණ වූ ශ්‍ර‍ද්ධාව කෙසේ ද?යි කීහ. මහරජානෙනි, යම් සේ යොගාවචරතෙම අනික් අයගේ සිත ක්ලේශයන්ගෙන් මිදුනුබව දැන ශ්‍රොතාපත්තිඵලයට හෝ සකෘදාගාමිඵලයට හෝ අනාගාමිඵලයට හෝ අර්හත්ඵලයට හෝ තෙමේත් පැමිණෙන්නේ අප්‍රාප්ත වූ ගුණයට ප්‍රාප්තිය පිණිස ද, නො පැමිණියා වූ ගුණයට පැමිණීම පිණිස ද, සිද්ධ නො කළ ගුණයාගේ සිද්ධ කිරීම පිණිස ද, වීර්ය කරන්නේ ය. මහරජ, සම්පක්ඛන්දනලක්ෂණ ශ්‍ර‍ද්ධාතොමෝ මෙබඳුයයි වදාළසේක.

 

ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවයි කීහ. මහරජානෙනි, යම් සේ මහාපර්වතමුදුනෙක මහාමෙඝයක් විශෙෂයෙන් වස්නේ වී නම්, ඒ වර්ෂාජලය යම් සේ මිටි දිසාවට පැතිර ගෙණ පර්වත කඳුරැලි, පෘථිවි විවර, අතුපතු වසා පිරී ගෙණ ගොස් ගඟ පිරෙන්නේ ය. ඒ මහාජලධාරා තොමෝ දෙගංඉවුරු හාත්පසින් තළවමින් යන්නේ වේ ද, නැවැත මහා ජනසමූහයා අවුත් බලා හිඳ ඒ ගංගාවගේ උස නැති බවක් හෝ ගැඹුරු බවක් හෝ නො දැන හීත වෙමින් භය වෙමින් ගංතොටෙහි සිටින්නේ ය. නැවත අන්‍යතර පුරුෂයෙක් අවුත් තමාගේ ශක්තියත් බලයත් හාත්පසින් විමසා බලමින් දැඩි කොට අමුඩය ගසා බැඳ ගෙණ දියට පැන එතෙර වූයේ නම්, එතෙර වූ ඒ පුරුෂයා දැක මහාජනසමූහයාත් එතෙර වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යොගාවචරතෙම සෙස්සන්ගේ චිත්තය ක්ලේශයන්ගෙන් මිදුනු බව දැක සෝවාන් ඵලයට හෝ සකෘදාගාමි ඵලයට හෝ අනාගාමිඵලයට හෝ රහත්ඵලයට හෝ තෙමේත් පැමිණෙන්නේ ය. අප්‍රාප්ති වූ අධිගමයාගේ ප්‍රාප්තිය පිණිස ද, නො පැමිණි අධිගමයාගේ පැමිණීම පිණිස ද, සිද්ධ නො කළ අධිගමයාගේ සිද්ධ කිරීම පිණිස ද, අධික වූ වීර්යය කරන්නේ ය. මහරජානෙනි, සම්පක්ඛන්දනලක්ෂණ වූ ශ්‍ර‍ද්ධා (39) තොමෝ මෙබඳු වන්නේ ය. මහරජානෙනි, අනන්ත වූ භාග්‍ය ඇති අප බුදුරජාණන් වහන්සේ විසින් මේ කාරණය උතුම් වූ සංයුත්සඟියෙහි වදාරණ ලදී.

 

සඬාය තරතී ඔඝා-අප්පමාදෙන අණ්ණවං,

විරියෙන දුක්ඛං අච්චෙති-පඤ්ඤාය පරිසුජ්ඣති.

 

යනුවෙන් ශ්‍ර‍ද්ධාව කරණ කොට ගෙණ කාමොඝාදිචතුර්විධඔඝයෙන් එතෙර වන්නේ ය. අප්‍ර‍මාදය කරණ කොට ගෙණ සංසාර මහාර්ණවයෙන් එතෙර වන්නේ ය. වීර්ය කරණ කොට ගෙණ සියලු දුක් දුරු කරන්නේ ය. ප්‍ර‍ඥාව කරණ කොට ගෙණ ක්ලේශයන්ගෙන් පිරිසිදු වන්නේ ය යි කියා මෙසේ ශ්‍රීමුඛපාලියකුදු ගෙණ හැර දක්වා වදාළසේක. එකල රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙනස්ථවිරයන් වහන්ස, ප්‍ර‍ශ්න විසඳීමෙහි අතිදක්ෂ වූ සේකැයි ප්‍ර‍ශංසා කළහ.

 

රජ්ජුරුවෝ නැවතත් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, වීර්යය කවර ලක්ෂණ ද? යි කීහ. මහරජානෙනි, වීර්යය උපස්තම්භනලක්ෂණ වන්නේ ය. වීර්යය ආධාර වූවා වූ සියලු කුශලධර්මයෝ නො පිරිහෙන්නේනාහු ය යි වදාළසේක. ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජානෙනි, පුරුෂයෙක්තම තමාගේ ගෙය එක් අතකට නැමී වැටෙන කල්හි යම් සේ අනික් කරුවකින් ආධාර කරන්නේ වේද, මෙසේ උපස්තම්භනය ඇති කල ඒ වැටෙන ගෙය නො වැටෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම වීර්යය උපස්තම්භනලක්ෂණ වන්නේ ය. වීර්යයෙන් උපස්තම්භිත වූ සියලු කුශලධර්මයෝ නො පිරිහෙන්නාහු යයි කීසේක.

 

ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජානෙනි, යම් සේ මහත් වූ සෙනාසමූහයක් ඉතා මඳ වූ සෙනාවක් මැඩ පවත්වා ජය ගන්නේ වී නම්, එයින් රජ ඒ ඉතා මඳ වූ පිරිස හා සමඟ ඔවුනොවුන් සිහි කරන්නේ වී නම්, අනුබල හරින්නේ වී නම්, ඒ ආධාරය නිසා අල්ප වූ සෙනාව මහත් සේනාව මැඩ පවත්වා ජය ගන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම වීර්යය උපස්තම්භනලක්ෂණ වන්නේ ය. වීර්යය උපස්තම්භනය වූවා වූ සියලු කුශලධර්මයෝ නො පිරිහෙන්නාහ. මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම කාරණය වදාරණ ලදී:-

 

විරියවා ඛො භික්ඛවෙ අරියසාවකො අකුසලං පජහති. කුසලං භාවෙති. සාවජ්ජං පජහති. අනවජ්ජං භාවෙති. සුඬමත්තා නං පරිහරති.

 

යනුවෙන් මහණෙනි, වීර්ය ඇත්තා වූ ආර්යශ්‍රාවකතෙම සියලු අකුශල ධර්මයන් දුරු කෙරෙයි. කුශලධර්මයන් භාවිත කෙරෙයි. සාවද්‍ය ධර්මයන් දුරු කෙරෙයි. නිරවද්‍යධර්මයන් සිත්හි ලා වඩයි. ක්ලේශයන් කෙරෙන් පිරිසිදු වූ ආත්මය පරිහරණය කෙරෙයි කියා වදාළා වූ බුදු බණක් දක්වා ලූසේක. එකල ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉතා දක්ෂ වූසේකැයි කියා ප්‍ර‍ශංසා කළහ.

 

නැවතත් රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සිහිය කවර ලක්ෂණ දැ?යි කීහ. මහරජානෙනි, සිහිය සම්ප්‍ර‍යුක්තධර්මයන් (40) සිහි කරවීම ස්වභාව කොට ඇති අපිලාපන ලක්ෂණ ද, උපගණ්හන ලක්ෂණ ද වෙයි කීසේක. ස්වාමීනි, අපිලාපනලක්ෂණ වූ සිහිය කෙසේ දැ?යි කීහ. මහරජානෙනි, උපදනා වූ සිහිතොම මේ සතර සතිපට්ඨානයෝ ය, මේ සතර සම්‍යක්ප්‍ර‍ධානයෝ ය, මේ සතරසෘද්ධිපාදයෝ ය, මේ පඤ්චේන්ද්‍රියෝ ය, මේ පඤ්චබලයෝ ය, මේ සප්ත බොද්ධ්‍යංගයෝ ය මේ අෂ්ටාංගිකමාර්ග ය, මේ සමථභාවනා ය, මේ විදර්ශනා ය, මේ අෂ්ටවිද්‍යා ය, මේ පඤ්චවිමුක්ති යයි කියා කුශලාකුශල සාවද්‍යානවද්‍ය හීනප්‍ර‍ණීත කෘෂ්ණශුක්ල ප්‍ර‍තිභාගධර්මයන් අරමුණු කර වන්නේ ය. එහෙයින් යොගාවචරතෙම සෙවිතව්‍යධර්මයන් සෙවනය කෙරෙයි. අසෙවිතව්‍යධර්මයන් සෙවනය නොකෙරෙයි. භජනය කළ මනා වූ ධර්මය භජනය කෙරෙයි. භජනය නො කළ මනා වූ ධර්මයන් භජනය නො කරන්නේ ය. මහරජානෙනි, අපිලාපනලක්ෂණ වූ ස්මෘතිතොම මෙබඳු යයි කීසේක.

 

ස්වාමීනි තවත් උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජානෙනි, යම් සේ චක්‍ර‍වර්තිරජහුගේ භාණ්ඩාගාරිකතෙම චක්‍ර‍වර්තිරජහට උදය සවස යස පිරිවර සිහි කරවන්නේ ද, දේවයන් වහන්ස, ඔබගේ මෙපමණ හස්තිසේනාව ය, මෙපමණ අශ්වසෙනාව ය, මෙපමණ රථ සේනාව ය මෙපමණ පාබලසේනාව ය, රත්න් මෙපමණ ය, කහවණු මෙපමණ ය, මෙපමණ වස්තුව ය, ඒ සියල්ල ම දෙවයන් වහන්සේ සිහියට ගෙණ වදාළ මැනැවැ යි කියා රජහට වස්තුසංඥා කරවන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම උපදින්නා වූ සිහිතොමෝ මොවුහු සතර සතිපට්ඨානයෝ ය, මොවුහු සතරසම්‍යක්ප්‍ර‍ධානයෝ ය, මොවුහු සතර සෘද්ධිපාදයෝ ය, මොවුහු පඤ්චේන්ද්‍රියයෝ ය, මොවුහු පඤ්චබලයෝ ය, සප්තබොධ්‍යංගයෝ නම් මොවුහු ය, මේ ආර්යඅෂ්ටාංගිකමාර්ගය ය, මේ සමථය ය, මේ විපස්සනා ය, මේ අෂ්ටවිද්‍යා ය, මේපඤ්චවිමුත්තියයි කියා සියලු කුශලාකුශල සාවද්‍යානවද්‍ය හීනප්‍ර‍ණීත කෘෂ්ණශුක්ලප්‍ර‍තිභාග ධර්මයන් යොගාවචරයාහට සංඥා කරවන්නේ ය. එහෙයින් යොගාවචර තෙම සෙවනය කට යුතු වූ ධර්මයන් සේවනය කරන්නේ ය. සේවනය නො කට යුතු ධර්මයන් සේවනය නො කරන්නේ ය. භාවිත[53] කළ මනා ධර්මයන් භාවිත කරන්නේ ය. භාවිත නො කළ මනා ධර්මයන් භාවිත නො කරන්නේ ය. මහරජානෙනි, අපිලාපනලක්ෂණ වූ සිහිතොමෝ මෙබඳු යයි වදාළසේක.

 

ස්වාමීනි, උපගණ්හනලක්ෂණ වූ සිහිතොමෝ කෙසේ දැ?යි කීහ. මහරජානෙනි, සිහි උපදිමින් මේ ධර්මයෝ අවිරුද්ධයෝ ය, මේ ධර්මයෝ බොහෝ උපකාරයෝ ය, මේ ධර්මයෝ නිවණට අනුපකාරයෝ ය යි කියා හිතාහිතධර්මයන්ගේ ගතිත් මනා කොට සොයන්නේ ය. ඒ කාරණයෙන් යොගාවචර භික්ෂූන් වහන්සේ විරුද්ධධර්මයන් පහ කරන්නාහ. අවිරුද්ධධර්මයන් ලං කරන්නාහ.[54] අනුපකාරධර්මයන් දුරු කරන්නාහ.[55] උපකාරී වූ ධර්මයත් ලං කරන්නාහ.[56] මහරජ, උපගණ්හනලක්ෂණ වූ සිහිතොමෝ මෙබඳු ය යි කීසේක.

 

ස්වාමීනි, මීට ම උපමාවක් කර වදාළ මැනවැයි කීහ. මහරජානෙනි, යම් සේ චක්‍ර‍වර්තිරජ්ජුරු-වන්ගේ පිරිස්පරිනායකරත්නය තෙම මොවුහු රජ්ජුරුවන්ට අවිරුද්ධයෝ ය, මොවුහු විරුද්ධයෝ ය, මොවුහු උපකාර ඇත්තෝ ය, මොවුහු අනුපකාරයෝ ය යි (41) කියා රජ්ජුරුවන්ට හිතාහිතජනයන් දන්නේ ය. එහෙයින් අහිතයන් පහ කරන්නේ ය. හිතෙසීන් සමීපයට ගන්නේ ය. අනුපකාරයන් පහ කරන්නේ ය. උපකාරජනයන් ලං කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම උපදනා වූ සිහිතොම මේ ධර්මයෝ හිතයෝ ය, මේ ධර්මයෝ අහිතයෝ ය, මේ ධර්මයෝ අනුපකාරීහු ය යි කියා හිතාහිතධර්මයන්, ගතීන් මනා කොට සොයන්නේ ය. ඒ කාරණයෙන් යොගාවචරතෙම අහිත ධර්මයන් පහ කරන්නේ ය. හිතධර්මයන් සමීපයට ගන්නේ ය. අනුපකාරීධර්මයන් ලං විය නො දෙන්නේ ය. උපකාරී ධර්මයන් සිතට ලං කොට ගන්නේ ය. මහරජානෙනි, උපගණ්හනලක්ෂණ වූ සිහිතොම මෙබඳු ය යි වදාරමින් මහරජ, අප භාග්‍යවත් ත්‍රෙතලවශවර්තීන් වහන්සේ විසින් ද මහණෙනි, මෙම සිහිතොම සර්වාර්ථසිද්ධියට කාරණ වන්නේ ය යි කියමි යි කියා මේ කාරණය වදාරණ ලදැයි කියා වදාළසේක. එකල රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙන ස්ථවිරයන් වහන්ස, අතිදක්ෂසේකැ යි කියා ප්‍ර‍ශංසා කළහ.

 

රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සමාධිය කවර ලක්ෂණ දැ? යි කීහ. මහරජානෙනි, සමාධිය ප්‍ර‍මුඛ ලක්ෂණ වන්නේ ය. යම් කිසි කුශලධර්මකෙනෙක් ඇද් ද, ඒ සියලු කුශලධර්මයෝ සමාධිය ප්‍ර‍මුඛ කොට ඇත්තාහු වෙති. සමාධියට මිටි වන්නාහු වෙති. සමාධියට අනුව යන්නාහු වෙති. සමාධියට නැමී සිටින්නාහු වෙති යි කීසේක. ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජානෙනි, යම් සේ උඩුමාලකූටාගාරයාගේ යම්කිසි ගොනැස් කෙනෙක් ඇද් ද, ඒ සියල්ලෝ ම කූටයට මිටි ව කූටයට ම නැමී බැස කූටයට ම සන්ධිය වැද ගියාහු වෙද් ද? ඒ ගොපානසීන්ට කූටය ම අග්‍ර‍ය යි කියනු ලැබෙයි. මහරජානෙනි, එපරිද්දෙන් ම යම්කිසි කුශලධර්මකෙනෙක් ඇද් ද, ඒ සියලු ධර්මයෝ සමාධිය ප්‍ර‍මුඛ කොට ඇත්තාහු වෙති. සමාධියට නිම්න වූවාහු වෙති. සමාධියට පොන වූවාහු වෙති. සමාධියට නැමී සිටියාහු වෙතියි වදාළසේක.

 

ස්වාමීනි, නැවතත් උපමාවක් කර වදාළ මැනවයි කීහ. මහරජානෙනි, යම් සේ කිසි රජෙක් චතුරංගිණීසේනාව හා සමඟ සංග්‍රාමයට බස්නේ වේ ද, හස්ත්‍යශ්වරථපත්ති යන සියලු සේනාව ම ඒ රජ්ජුරුවන් ප්‍ර‍මුඛ කොට ඇත්තාහු වෙති. ඒ රජ්ජුරුවන්ට ම නිම්න වන්නාහු ම ය. ඒ රජහට ම ඔනත වන්නාහු ම ය. ඒ රජහු පබ්භාර කොට ම ඇත්තාහු වෙති. ඒ රජ්ජුරුවන් ම පිරිවරන්නාහු ම ය. මහරජ එපරිද්දෙන් ම යම්කිසි කුශලධර්මකෙනෙක් ඇද් ද? සියලු ම ඒ ධර්මයෝ සමාධියට නිම්න ව සමාධියට ඔනත ව, සමාධියට පබ්භාර ව, සමාධිය ප්‍ර‍මුඛ කොට ඇත්තාහු වෙති. මහරජානෙනි, එපරිද්දෙන් ම සමාධිය ප්‍ර‍මුඛ ලක්ෂණ වන්නේ ය. මහරජානෙනි, අප භාග්‍යවත් ත්‍රෛලොක්‍යස්වාමීන් වහන්සේ විසිනුත් මහණෙනි, සමාධිය භාවිත කරවු. සමාධියෙන් සන්හුන්නා වූ පුරුෂතෙම තත් වූ පරිද්දෙන් සියලුගුණධර්මයන් විශෙෂයෙන් දැන ගන්නේ යයි කියා මේ කාරණය වදාරණ ලදැ යි වදාළසේක. එකල අතිප්‍ර‍සන්න වූ රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙන ස්ථවිරයන් වහන්ස, දක්ෂ වූ සේකැයි කියා ප්‍ර‍ශංසා කළහ.

 

රජ්ජුරුවෝ නැවතත් නාගසෙන ස්වාමීනි, ප්‍ර‍ඥාව කවර (42) ලක්ෂණ දැ? යි කීහ. මහරජ, මා විසින් පළමුවෙන් ම ප්‍ර‍ඥාව ඡෙදන ලක්ෂණ ය යි කියන ලද්දේ නො වේ ද? එතෙකුදු වුවත් ප්‍ර‍ඥාව ඔභාසන ලක්ෂණ ය යි කීසේක. ස්වාමීනි, ඔභාසන ලක්ෂණ වූ ප්‍ර‍ඥාව කෙසේ දැ?යි කීහ. මහරජානෙනි, උපදින්නා වූ ප්‍ර‍ඥාතොමෝ අවිද්‍යාන්ධකාරය දුරු කෙරෙයි. අෂ්ටවිද්‍යා නමැති ඔභාසය උපදවයි. ඤාණාලොකය පහළ කෙරෙයි. චතුරාර්යසත්‍ය ධර්මයන් ප්‍ර‍කාශ කෙරෙයි. එහෙයින් යොගවාචරතෙම පඤ්චස්කන්ධය අනිත්‍ය ය යි කියා හෝ, දුකැ යි කියා හෝ, අනාත්ම ය යි කියා හෝ, සම්‍යක්ප්‍ර‍ඥාවෙන් දක්නේ යයි වදාළසේක. ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනව යි කීහ. මහරජානෙනි, පුරුෂයෙක් යම් සේ ඝනාන්ධකාරයෙහි ගෙට පානක් ප්‍රවෙශ කෙරේ ද, ගෙට ප්‍ර‍විෂ්ට වූ ප්‍ර‍දීපයතෙම අන්ධකාරය දුරු කෙරේ ද, ඔභාසය උපදවා ද, ආලොකය පහළ කෙරේ ද, අනෙකප්‍ර‍කාර වූ රූපයන් ප්‍ර‍කාශ කෙරේ ද, මහරජානෙනි, එපරිද්දෙන් උපදනා වූ ප්‍ර‍ඥාතොමෝ අවිද්‍යාන්ධකාරය විධ්වංසනය කෙරෙයි. අෂ්ටවිද්‍යාවභාසය උපදවයි. ඤාණාලොකය පහළ කෙරෙයි. චතුරාර්යසත්‍යයන් ප්‍ර‍කට කෙරෙයි. ඒ කාරණයෙන් යොගාවචරතෙම අනිත්‍යය යි කියා හෝ දුකැ යි කියා හෝ අනාත්මය යි කියා හෝ චතුස්සත්‍යධර්මයන් දක්නා සම්‍යක්ප්‍ර‍ඥාවෙන් විශෙෂධර්මයන් දක්නේ ය. මහරජානෙනි, ඔභාසනලක්ෂණ වූ ප්‍ර‍ඥා තොමෝ මෙබඳු ය යි වදාළසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍ර‍ශ්න විසඳීමෙහි අතිදක්ෂ වූ සේකැයි ප්‍ර‍ශංසා කළහ.

 

නැවතත් රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නානා ආකාර වූවා වූ මේ සන්ධින්ද්‍රියාදී ධර්මයෝ එක ම අර්ථයක් සිද්ධ කෙරෙද්දැ? යි කීහ. එසේ ම ය; මහරජානෙනි, නානාප්‍ර‍කාර වූවා වූ මේ සද්ධින්ද්‍රියාදී ධර්මයෝ එක ම අර්ථයක් සිද්ධ කෙරෙති. සකලක්ලේශයන් නසන්නාහු යයි කීසේක. ස්වාමීනි, නානාප්‍ර‍කාර වූවා වූ මේ සද්ධින්ද්‍රියාදීධර්මයෝ එක ම අර්ථයක් කෙසේ නම් සිද්ධ කෙරෙද් ද? ක්ලේශයන් නසන්නාහු ද? ඊටත් උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජානෙනි, නානාප්‍ර‍කාර වූ හස්ත්‍යශ්වරථපත්ති යන චතුරංගිණී සේනාව යම් සේ එක ම අර්ථයක් සිද්ධ කෙරේ ද, සංග්‍රාමභූමියෙහි පර සේනාව මැඩ පවත්වා ජය ගන්නාහු වෙද් ද, මහරජානෙනි, එපරිද්දෙන් ම නානාප්‍ර‍කාර වූවා වූ මේ සද්ධින්ද්‍රියාදීධර්මයෝ ම එක ම අර්ථයක් සිද්ධ කෙරෙති. සකලක්ලේශයන් විනාශ කෙරෙතියි වදාළසේක. ඒ අසා ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වුසේකැ යි ප්‍ර‍ශංසා කළහ.

 

ප්‍ර‍ථමවර්ගය නිමි.

 


දෙවෙනි වර්‍ගය

 

තවත් ප්‍ර‍ශ්නයක් අසනු කැමැති වූ මිලිඳු රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමෙක් මවුකුසින් උපදනේ ය. ඒ උපන්නා වූ සත්වතෙම මියන තැන් දක්වා ඔහු ම වේ ද? නොහොත් අනික් ආකාර කෙනෙක් ද? යි කීහ. තෙරුන් වහන්සේ ඒ අසා ඔහුත් නො වෙති යි. අනිකෙකුත් නො වෙති යි කීසේක. ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජානෙනි, ඒ කුමක් සිතෙන්නෙහි ද? යම් කලෙක තෙපි තරුණ වූ (43) කුඩා වූ බලිසයනය කරන්නා වූ ලදරු වූහු[57] ද, දැන් තෙපි ඒ ලදරුවා ම ද? මහත් කෙනෙක් දැ? යි විචාළසේක. නැත ස්වාමීනි, ලදරු වූ තරුණවූ කුඩාවූ යමෙක් උත්තානසෙය්‍යක වී ද, ඒ තෙම අනික් කෙනෙක. දැන් මම මහත් වූ අනික් කෙනෙකැයි කීහ. මහරජානෙනි, මෙසේ ඇති කල්හි මෑනිකෙනෙකැයි කියාත් නො වන්නේ ය. පියාන කෙනෙකැ යි කියාත් නො වන්නේ ය. ආචාර්ය කෙනෙකැ යි කියාත් නො වන්නේ ය. ශිල්ප දන්නා කෙනෙකැ යි කියාත් නො වන්නේ ය. සිල්වත් කෙනෙකැ යි කියාත් නො වන්නේ ය. ප්‍ර‍ඥාවත් කෙනෙකැ යි කියාත් නො වන්නේ ය. කිමෙක් ද? මහරජානෙනි, දිවැසට විෂය වන අතිසියුම් තලතෙල්බින්දු ප්‍ර‍මාණ වූ ප්‍ර‍තිසන්ධි චිත්තය හටගන්නා කලලරූපයට මෑනියෝ අනික් ආකාර කෙනෙක. මස් සේදූ දියත්තක් වැනි වූ අර්බුද අවස්ථාවට මෑනියෝ අනික් කෙනෙක .ලතුදියත්තක් වැනි වූ පෙසීඅවස්ථාවට මෑනියෝ අනික් ආකාර කෙනෙක. මුරුතමල්කැකුළක් වැනි වූ ඝන අවස්ථාවට මෑනියෝ අනික් ආකාර කෙනෙක. දෑත් දෙපා හිස බේරී වැදූ බිලිඳුහට මෑනියෝ අනික් කෙනෙක .මහත් ව ගිහායට මෑනියෝ අනික් කෙනෙක. අනික් කෙනෙක් ශිල්ප උගණිති. අනිකෙකු උගන්නා ලද්දේ වෙයි. අනිකෙක් පවිටුකම් කෙරෙයි. අනිකෙක්හුගේ හස්තපාදාදිය කපන්නාහු යයි කීසේක. නැත ස්වාමීනියි කියමින් ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේ වනාහි මෙසේ යමෙකු කී කල්හි කුමක් කියනසේක් දැ? යි විචාළාහ. එකල තෙරුන් වහන්සේ මහරජානෙනි, තරුණ වූ බාල වූ උත්තාන ව සයනය කරන්නා වූත් මම් ම ය. දැන් මහත් වූයේත් මම් ම ය. මේ ශරීරය නිසා ම ඒ කලලරූපය යනාදි වූ ඒ සියල්ල ම එකට ම සංගෘහීතවී[58] යි කීසේක.

 

ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජානෙනි, කිසියම් පුරුෂයෙක් යම් සේ ප්‍ර‍දීපයක් දල්වන්නේ ය. කිමෙක් ද? ඒ ප්‍ර‍දීපය සියලු ම රාත්‍රිය මුළුල්ලෙහි ඇවිළේ ද?යි විචාළසේක. එසේ ය; ස්වාමීනි, රාත්‍රිය මුළුල්ලෙහි ම ඇවිළෙන්නේ ය යි කීහ. කිමෙක් ද මහරජානෙනි, පෙරයම්හි යම් ගිනිදළුවෙක් ඇද්ද, මධ්‍යමයාමයෙහිත් එම ගිනිදළුව ම දැ?යි විචාළසේක. නැත, ස්වාමීනි යි කීහ. මධ්‍යම යාමයෙහි යම් ගිනිදළුවෙක් ඇද්ද, පශ්චිම යාමයෙහිත් එම ගිනිදළුව ම දැ?යි විචාළසේක. නැත ස්වාමීනි යි කීහ. කිමෙක් ද, මහරජානෙනි, පෙරයම්හි ඒ ප්‍ර‍දීපය අනිකෙක් වී ද? මැදුයම්හි ප්‍ර‍දීපය අනිකෙක් වී ද? පශ්චිමයාමයෙහි ප්‍ර‍දීපය අනිකෙක් ද? යි විචාළසේක. නැත ස්වාමීනි යි ඒ පෙරයම පාන නිසා ම සර්වරාත්‍රිය මුළුල්ලෙහි ම පාන ඇවුළුනේ ය යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම ධර්මසන්තතිය නිසා පවත්නේ ය. අනික් කෙනෙක් උපදනාහ. අනික් කෙනෙක් කාලක්‍රියා කරන්නාහ. ඉදිරිපසු නැති ව පවත්නා දෙයක් මෙන් සිතට හැඟෙන්නේය. ඒ කාරණයෙන් උපන්නෙත් හේ නො වෙයි. අනිකෙකුත් නො වෙයි. පශ්චිම වූ විඥානසංග්‍ර‍හයට යන්නේ ය යි කීසේක.

 

ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජානෙනි, යම් සේ දෝනා ලද්දා වූ කිරි රැයක් ඉකුත් වූ කාලාන්තරයකින් දීකිරි වන්නේ ය. ඒ දීකිරෙන් වෙඬරු වන්නේ ය. වෙඬුරෙන් තෙල් පරිවර්තනය (44) වන්නේ ය. මහරජානෙනි, යමෙක් වනාහි යමක් කිරි නම්, ඒ කිරි ම දීකිරි ම ය. ඒ කිරි ම වෙඬරු ය. ඒ කිරි ම තෙල් ය යි කියා මෙසේ කියා නම් මහරජානෙනි, කියන්නා වූ ඒ පුරුෂතෙම මනා කොට ම ඇත්තක් ්ම කියන්නේ දැ? යි විචාළසේක. නැත, ස්වාමීනි, ඒ කිරි ම නිසා ක්‍ර‍මයෙන් තෙල් හට ගත්තේ ය යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම ධර්මසන්තතිය හට ගන්නේ ය. අනිකෙක් උපදනේ ය. අනිකෙක් නිරුද්ධ වන්නේ ය. ඉදිරිපසු නො වූවාක් මෙන් සිතට උපදනේ ය. ඒ කාරණයෙන් උපන්නේත් හේ නො වෙයි. අනිකෙකුත් නො වෙයි. පශ්චිම වූ විඥානසංග්‍ර‍හයට යන්නේ ය යි වදාළසේක. එකල ස්වාමීනි නාගසෙනස්ථවිරයන් වහන්ස, අතිදක්ෂ වූසේක. අතිසමර්ථ වූසේකැයි කියා ප්‍ර‍ශංසා කළෝ ය.

 

නැවැතත් රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසේනයන් වහන්ස, යමෙක් තෙම ප්‍ර‍තිසන්ධිවශයෙන් නො උපදී ද? එතෙම මතු නො උපදනෙමි යි කියා දන්නේ දැ? යි කීහ. එසේ ය, මහරජානෙනි, යමෙක් නො පිළිසිඳ ගණීද, හෙතෙම නො පිළිසිඳ ගණීමි යි කියා දන්නේ යයි කීහ. ස්වාමීනි, කෙසේ දැනේ ද? යි කීහ. මහරජානෙනි, පිළිසිඳ ගැණීම පිණිස යම් කාරණයක් ඇද් ද? යම් ප්‍ර‍ත්‍යයක් ඇද් ද? ඒ හෙතුවගේ ඒ ප්‍ර‍ත්‍යයාගේ වැළකීමෙන් හෙතෙම නො පිළිසිඳ ගණිමි යි කියා දන්නේ ය යි කීසේක. ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජානෙනි, යම් සේ සී සා වපුරණ ගෘහපතියෙක් සීසා වපුට ගොවිතැන් කොට ධාන්‍යාගාරය පුරවන්නේ ය. ඒ ගෘහපතියා එයින් මෑත කාලයෙහි සීයකුත් නො ම සාන්නේ ය. වියකුත් නො වපුරවන්නේ ය. යම් පරිද්දෙකින් පළමුවෙන් රැස් කළ ධාන්‍යය ම අනුභව කරන්නේ හෝ කාට කාටත් බෙදා දෙන්නේ හෝ කැමැති දෙයක් කරන්නේ ය. මහරජානෙනි, ඒ කස්සකගෘහපතිතෙම මාගේ ධාන්‍යාගාරය නො පිරෙන්නේ ය යි කියා දන්නේ දැ? යි විචාළසේක. එසේ ය ස්වාමීනි, ඔහු දන්නෝ ය යි කීහ. කෙසේ දනී දැ? යි කීසේක. ස්වාමීනි, ධාන්‍යාගාරයාගේ [59]පරිපූර්ණත්වය පිණිස යම් හේතුවක් ඇද් ද? යම් ප්‍ර‍ත්‍යයයක් ඇද් ද? ඒ හෙතුප්‍ර‍ත්‍යය සන්හිඳීම පිණිස ගියබව හෙතු කොට ගෙණ මාගේ ධාන්‍යාගාරය නො පිරෙන්නේ ය යි කියා දන්නේ ය යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම පිළිසිඳ ගැණීම පිණිස යම් හෙතුවක් ඇද් ද? යම් ප්‍ර‍ත්‍යයක් ඇද් ද, ඒ හේතුවගේ ඒ ප්‍ර‍ත්‍යයයාගේ සන්හිඳීම හේතු කොට ගෙණ හෙතෙම සසර නො පිළිසිඳ ගණිමි යි කියා දන්නේ ය යි කීසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිසමර්ථ සේක. අතිදක්ෂසේකැයි කියා ප්‍ර‍ශංසා කළෝ ය.

 

රජ්ජුරුවෝ නැවතත් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමෙකුට ඥානය උපන්නේ නම් ඕහට ප්‍ර‍ඥාව උපන්නා දැ යි කීහ. එසේ ය, මහරජානෙනි, යමෙකුට ඥානය උපන්නේ වී නම් ඕහට ප්‍ර‍ඥාව උපන්නා ය යි කීසේක. කිමෙක් ද, ස්වාමීනි, යමක් ඥානය නම් ප්‍ර‍ඥාවත් ඕ ම දැයි කීහ. එසේ ය, මහරජානෙනි, යමක් ඥානය වී නම් ප්‍ර‍ඥාවත් ඕ ම යයි කීසේක. ස්වාමීනි, යමෙකුට ඒ ඥානය ම ඒ ප්‍ර‍ඥාව ම උපන්නේ වී නම්, කිමෙක් ද? පුරුෂතෙම මුළාබවට පැමිණේ ද? නොහොත් නො මුළාවේ දැ? යි කීහ. මහරජානෙනි, කිසි තැනෙක මුළා වෙයි. (45) කිසි තැනෙක නො මුළා වන්නේ යයි කීසේක. ස්වාමීනි, කොතැන්හි මුළා වේ ද? කොතැන්හි මුළා නො වේ දැ? යි විචාළාහ. මහරජානෙනි, පූර්වයෙහි තමන් නො දක්නා ලද ශිල්පස්ථානයෙහි ද, පෙර නො ගිය දිසාභාගයෙහි ද, පෙර නො අසන ලද්දා වූ චිත්තවිභාගප්‍ර‍ඥප්තියෙහි ද, මුළාබවට පැමිණෙන්නේ ය යි වදාළසේක. කොතැන්හි මුළා නො වන්නේ දැ? යි කීහ. මහරජානෙනි, යමක් වනාහි ඒ ප්‍ර‍ඥාවෙන් අනිත්‍යය යි කියා හෝ දුකැ යි කියා හෝ අනාත්මය යි කියා හෝ කරණ ලදද, එහි මුළා නො වන්නේ ය යි වදාළසේක. ස්වාමීනි, ඔහුගේ මොහය කොතැන ගියේ දැ යි කීහ. මහරජානෙනි, ඥානය උපන් මාත්‍රයෙහි ම මොහය එතැන් ම නිරුද්ධ වන්නේ ය යි කීසේක.

 

ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැ යි කීහ. මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් අන්ධකාරයෙහි ගෙයි ප්‍ර‍දීපයක් නගන්නේ වේ ද, එයින් අන්ධකාරය නිරුද්ධ වන්නේ ය. ආලොකය පහළ වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ඥානය උපන් මාත්‍රයෙහි ම මොහය එතැන්හි ම නැති වන්නේ යයි කීසේක. ස්වාමීනි, ප්‍ර‍ඥාව කොතැන්හි ගියේ දැ? යි කීහ. මහරජානෙනි, ප්‍ර‍ඥාවත් ස්වකීය කෘත්‍යය කොට එහි ම නිරුද්ධ වන්නේ ය. යමෙක් වනාහි ඒ ප්‍ර‍ඥාවෙන් අනිත්‍යය යි කියා හෝ, දුකැ යි කියා හෝ, අනාත්මය යි කියා හෝ, කරණ ලද ද, ඒ කටයුත්ත නිරුද්ධ නො වන්නේ ය යි කීසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍ර‍ඥාතොමෝ ස්වකීය කෘත්‍යය කොට එහි ම නිරුද්ධ වන්නේ ය. යමක් වනාහි ඒ ප්‍ර‍ඥාවෙන් අනිත්‍යය යි කියා හෝ දුකැ යි කියා හෝ අනාත්මය යි කියා හෝ, කරණ ලද ද ඒ කළ කෘත්‍යය නිරුද්ධ නො වන්නේ ය යි කියා යම් මේ වචනයක් වදාළසේක් ද, ඒ කාරණයට උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජානෙනි, යම්සේ ඓශ්වර්යයෙන් මහත් වූ යම් පුරුෂයෙක් රාත්‍රියෙහි ලියමනක් යවනු කැමැති වූයේ ලිපිකාරයකු ගෙන්වා පහන දල්වා ලියමනක් ලියවන්නේ ය. ලියමන ලිවූ කල්හි ප්‍ර‍දීපය නිවෙන්නේ ය. ප්‍ර‍දීපය නිවූ කල්හිත් ලෙඛනය විනාස නො වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍ර‍ඥාතොමෝ ස්වකීය කෘත්‍යයය කොට එහි ම නිරුද්ධ වන්නේ ය. ඒ ප්‍ර‍ඥාවෙන් අනිත්‍යය යි කියා හෝ දුකැ යි කියා හෝ අනාත්මය යි කියා යමක් කරණ ලද ද, ඒ කළ කී කටයුත්ත නිරුද්ධ නො වන්නේ යයි කීසේක.

 

ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජානෙනි, යම් සේ පුරත්ථිමජනපදයෙහි මනුෂ්‍යයෝ ඇවිළගත් ගින්නක් නිවන්නට ගෙයක් ගෙයක් පාසා පැන් ඝටවල් පසක් පසක් බැගින් තබන්නාහු වෙති. ගේ ගිනිගත් කල්හි ඒ පැන්කළගෙඩිපස ම ගෘහයාගේ මත්තෙහි නමන්නාහු ය. එකල ගිනි නිවී යන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, නැවැත ඒ පැන් ගෙණවුත් ඝට කෘත්‍යය කරම්හ යි කියා ඒ මනුෂ්‍යයන්ට මෙබඳු වූ සිතෙක් වේ දැ? යි කීසේක. නැත, ස්වාමීනි, ඒ කළගෙඩිවලින් කටයුතු එතෙක් ම ය. ඒ පැන් කළවලින් කම් කිම් දැ? යි කීහ. මහරජානෙනි, පැන් කළපස යම් සේ ද, එපරිද්දෙන් සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යන පඤ්චේන්ද්‍රියයෝ දත යුත්තාහු ය. ඒ ගම මනුෂ්‍යයෝ යම් සේ ද, එපරිද්දෙන් යොගාවචරතෙම දත යුතු ය. ඇවිළ ගත් ගිනි යම් සේ ද, එපරිද්දෙන් ක්ලේශයෝ (46) දත යුත්තාහු ය. යම් සේ පැන්කළ පසකින් ගිනි නිවන ලද්දේ වේ ද, එපරිද්දෙන් ශ්‍ර‍ද්ධාදීපඤ්චේන්ද්‍රියයන් විසින් ක්ලේශයෝ නිවනු ලැබෙති. නිවන ලද ක්ලේශයෝ නැවැත නැවැත සම්භව නො වෙත් ම ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍ර‍ඥාතොමෝ ස්වකීයකෘත්‍යය කොට එහි ම නිරුද්ධ වන්නේ ය. ඒ ප්‍ර‍ඥාවෙන් අනිත්‍ය ය යි කියා හෝ දුකැ යි කියා හෝ අනාත්ම ය යි කියා හෝයමක් කරණ ලද ද, ඒ කටයුත්ත නිරුද්ධ නොවන්නේ ය යි කිසේක.

 

ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ යි කීහ. මහරජානෙනි, යම් සේ වෛද්‍යාචාර්යයා පස්මුල්බෙහෙත් ගෙණ ගිලිනා කරා ගොස් ඒ පස්මුල් බෙහෙත් අඹරා ගිලනාට පොවන්නේ ය. ඒ බෙහෙතින් පැමිණි දෝෂයෝ හැරී ගියාහු වූ නම්, කිමෙක් ද, මහරජානෙනි, නැවත ඒ පස්මුල්බෙහෙතින් ඖෂධ ක්‍රියා කෙරෙමි යි කියා ඒ වෛද්‍යාචාර්යයාට මෙබඳු සිතෙක් වේ ද යි විචාළසේක. නැත, ස්වාමීනි. ඒ මුල්බෙහෙතින් කට යුතු එතෙක් ම ය. ඒ මුල්බෙහෙතින් කිම් දැ? යි කීහ. මහරජානෙනි, පස්මුල්බෙහෙත් යම් සේ ද, එපරිද්දෙන් ශ්‍ර‍ද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍ර‍ඥා යන පඤ්චේන්ද්‍රියයෝ දත යුත්තාහු ය. වෛද්‍යාචාර්යතෙම යම් සේ ද, එපරිද්දෙන් ම යොගාවචරතෙම දත යුත්තේ ය. ව්‍යාධිය යම් සේ ද, එපරිද්දෙන් ම ක්ලේශයෝ දත යුත්තාහු ය. ව්‍යාධි[60]ත වූ පුරුෂතෙම යම් සේ ද එපරිද්දෙන් ම පෘථග්ජනතෙම දත යුතු ය. යම් සේ පඤ්චමූලබෙහෙතින් ගිලානයාගේ රොගයෝ නසන ලද්දාහු ද, රොගය නැසුනු කල්හි ගිලානතෙම අරොගී වේ ද, එපරිද්දෙන් පඤ්චේන්ද්‍රියයන් විසින් ක්ලේශයෝ නසනු ලැබෙත්. නස්නා ලද ක්ලේශයෝ නැවත නූපදනාහු වෙති. මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍ර‍ඥාතොම ස්වකීය කෘත්‍යය කොට එහි ම නිරුද්ධ වන්නේ ය. ඒ ප්‍ර‍ඥාවෙන් අනිත්‍යය යි කියා හෝ දුකැ යි කියා හෝ අනාත්මය යි කියා හෝ යමක් කරණ ලද ද, ඒ කළ කෘත්‍යය නිරුද්ධ නො වන්නේ ය යි වදාළසේක.

 

ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ යි කීහ. මහරජානෙනි, යම් සේ සංග්‍රාමාවචර වූ යොධයෙක්තෙම ශරපසක් ගෙණ සතුරුසේනාව ජය ගන්නට යුද්ධයට බස්නේ ය. සංග්‍රාමයට ගියා වූ යොධයා ඒ ශරපස ම ඛිපනය කරන්නේ ය. ඒ ශරපසින් සතුරුසේනාව බිඳී ගියාහු වූ නම්, කිමෙක් ද මහරජානෙනි, නැවැත ඒ ශරපසින් ශරකෘත්‍යය කෙරෙමි යි කියා ඒ සංග්‍රාමාවචර යොධයාහට මෙබඳු සිතෙක් වේ දැ? යි විචාළසේක. නැත, ස්වාමීනි, ඒ ශරපසින් කට යුතු එපමණින් නිමියේ ය. නැවැත ඒ ශරපසින් ප්‍රයෝජන කිම් දැ? යි කීහ. මහරජානෙනි, ඒ ශරපස යම් සේ ද, එපරිද්දෙන් ම සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යන පඤ්චේන්ද්‍රියයෝ දත යුත්තාහු ය. සංග්‍රාමාවචර වූ යොධතෙම යම් සේ ද, එසේ ම යොගාවචරතෙම දත යුතු ය. සතුරුසේනාව යම් සේ ද, එමෙන් ක්ලේශයෝ දත යුත්තාහු ය. යම් සේ ශරපසින් සතුරුසේනාව බිඳුනාහු වෙත් ද, එපරිද්දෙන් ම පඤ්චේන්ද්‍රියයන් විසින් ක්ලේශයෝ බිඳුනා ලද්දාහු වෙති. බිඳුනා වූ ක්ලේශයෝ නැවැත නො උපදනාහු වෙති. මහරජානෙනි, එපරිද්දෙන් ම ප්‍ර‍ඥාව ස්වකීය කෘත්‍යය කොට එහි ම නිරුද්ධ වන්නේ ය. ඒ ප්‍ර‍ඥාවෙන් යමක් වනාහි අනිත්‍යය යි කියා හෝ දුඛය යි කියා (47) හෝ අනාත්මය යි කියා හෝ කරණ ලද ද, ඒ දාන ශීල භාවනාදි කෘත්‍යය නිරුද්ධ නො වන්නේ යයි වදාළසේක. ඒ අසා ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිදක්ෂ වූ සේකැයි කියා ප්‍ර‍ශංසා කළෝ ය.

 

නැවතත් මිලිඳුරජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමෙක්තෙම ප්‍ර‍තිසන්ධි වශයෙන් සසර නො පිළිසිඳ ගණී ද, ඒ පුරුෂතෙම කිසියම් දුක්ඛවේදනාවක් විඳී දැ? යි කීහ. එකල තෙරුන්වහන්සේ මහරජ, කිසිවක් විඳින්නේ ය. කිසිවක් නො විඳින්නේ ය යි කීසේක. විඳින්නේ කවරක් ද? නො විඳින්නේ කවරක් දැයි කීහ. මහරජානෙනි, කායික වූ වේදනාව විඳින්නේ ය. චෛතසික වූ වේදනාව නො විඳින්නේ ය යි කී සේක. ස්වාමීනි, කායික වූ වේදනාව විඳින්නේ කෙසේ ද? චෛතසික වූ වේදනාව නො විඳින්නේ කෙසේ දැ යි කීහ. මහරජානෙනි, කායික වූ දුක්ඛවේදනාවගේ උත්පත්තිය පිණිස පවත්නා වූ යම් හෙතුවෙක් ඇද් ද, යම් ප්‍ර‍ත්‍යයෙක් ඇද් ද, ඒ හෙතුවගේ ඒ ප්‍ර‍ත්‍යයයාගේ නො වැළැක්ම වූ බැවින් කායිකදුක්ඛවේදනාව විඳින්නේ ය. චෛතසිකදුක්ඛවේදනාවගේ උත්පත්තිය පිණිස පවත්නා වූ යම් හෙතුවෙක් ඇද් ද? යම් ප්‍ර‍ත්‍යයයෙක් ඇද් ද? ඒ හෙතුවගේ ඒ ප්‍ර‍ත්‍යයයාගේ වැළකීමෙන් චෛතසික වූ දුක්ඛවේදනාව නො විඳින්නේ ය. මහරජානෙනි, අප භාග්‍යවත් වූ ත්‍රෛලොක්‍යස්වාමීන් වහන්සේ විසිනුත් යමෙක් තෙම කායික වූ එක් වේදනාවක් විඳින්නේ ය. චෛතසික වූ වේදනාව නො විඳින්නේ ය යි යනාදීන් මෙම කාරණය වදාරණ ලදැයි කීසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් ඒ යොගාවචරතෙම කායික දුක්ඛවේදනාව විඳී ද, ඒ තෙම කුමක් නිසා පිරිනිවන් නො පාන්නේ දැ? යි කීහ. මහරජානෙනි, රහත් වූවාහුට අනුසයයෙක් හෝ ක්‍රොධයෙක් හෝ නැත්තේ ය. නුවණින් අගතැන් පැමිණියා වූ රහතුන් වහන්සේලා ආයුෂය නො ගෙවුනු හෙයින් නො පැසුනා වූ තමන් නැසීම් වසයෙන් නො ම හෙළන සේක් ම ය. ආයුෂයාගේ පරිපාකය ම ඉවසා බලා හිඳිති. මහරජානෙනි, සද්ධර්මසෙනාධිපති වූ ශාරීපුත්‍ර‍ නම් මහතෙරසාමීන් වහන්සේ විසින් ද මෙම කාරණය වදාරණ ලද්දේ ය. පරවැඩ කිරීමෙහි කුලී නො ලැබ හිඳින බැළ මෙහෙකරුවෙක් යම් සේ ද, එමෙන් මරණයටත් සතුටු නො වෙමි. මාගේ ජීවත් ව ඉඳීමටත් සතුටු නො වෙමි. ආයුෂ කාලය ම කැමැත්තෙමි. තව ද අර්ථානර්ථ දැනගන්න සම්ප්‍ර‍ජානන ප්‍ර‍ඥාවෙන් යුක්ත වූ එසේ ම සිහියෙන් යුක්ත වූ මම මරණයටත් සතුටු නො වෙමි. ආයුෂයාගේ ජීවිතයටත් සතුටු නො වෙමි. ආයුෂය ගෙවන කාලය ම කැමැත්තෙමි යි වදාළ මේ ශ්‍රාවකගාථා දක්වා ලූසේක.

 

නාභිනන්දාමි මරණං - නාභිනන්දාමි ජීවිතං,

කාලඤ්ච පතිකංඛාමි - නිබ්බිසං භතකො යථා.

නාභිනන්දාමි මරණං - නාභිනන්දාමි ජීවිතං,

කාලඤ්ච පතිකංඛාමි - සමපජානො පතිස්සතො යි

 

එකල මිලිඳු රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ යි කියා ප්‍ර‍ශංසා කළහ.

 

නැවතත් රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙනයන් (48) වහන්ස, සුඛවේදනාතොමෝ කුසල් ද? අකුසල් ද? අව්‍යාකෘත ද? යි කීහ. මහරජානෙනි, කුසලත් වන්නේ ය. අකුසලත් වන්නේ ය. අව්‍යාකෘත ද වන්නේ ය යි කීසේක. ඉදින්, ස්වාමීනි, කුසල් වී නම්, දුක් නො වන්නේ ය. ඉදින් දුක් වී නම්, කුසල් නො වන්නේ ය. ඒ සුඛවේදනාව කුසල් වී නම්, කුසල් ම ය. අකුසල් වී නම් අකුසල් ම ය. කුසලුත් දුක්ඛයත් දෙක එකට නො උපදනේ ය යි කීහ. මහරජානෙනි, හේ තෙපි කුමක් සිතන්නාහු ද? මේ ලොකයෙහි පුරුෂයෙකුගේ හස්තතලයෙහි දවසක් මුළුල්ලෙහි රත් වූ යකඩගුළියක් තබන්නේ වී නම්, දෙවෙනි හස්ත තලයෙහි හිමාලයෙහි වූ සීතපිඩක් ගෙණ තබන්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ දෙක ම දවන්නාහු දැ? යි විචාළසේක. එසේ ය, ස්වාමීනි. ඒ දෙක ම හස්තතලයන් දවන්නාහු ය යි කීහ. කිමෙක් ද, මහරජ, ඒ සීතපිඩත් යකඩපිඩත් දෙක ම උෂ්ණ දැ? විචාළසේක. නැත, ස්වාමීනි යි කීහ. කිමෙක් ද මහරජ, එසේ වී නම්, එදෙක ම සීතල දැ? වි විචාළසේක. නැත, ස්වාමීනියි කීහ. එසේ වී නම්, මහරජ, තොප කී වාදයෙහි නිග්‍ර‍හ වූ බව දැන ගණුව. ඉදින් උෂ්ණය ම දවන්නේ වී නම් ඒ දෙක ම උෂ්ණ වන්නේ ය. එකාරණයෙන් සුඛවේදනාව කුසලුත් දුක්ඛයත් දෙක එකට උපදනේ ය යි කී වචනය සැබැව. ඉදින් සීතපිඩ ම දවන්නේ වී නම්, ඒ දෙක ම ත් සීත නො වන්නේ ය. ඒ කාරණයෙනුත් කුසලුත් දුක්ඛයත් දෙක ම එකට නො උපදනේ ය යි කී වචනය සැබැව. මහරජ, කුමක් නිසා ඒ දෙක ම දවන්නාහු ද? එදෙක මත් උෂ්ණ නො ව්නනේ ය. ඒ දෙක ම සීතලත් නො වන්නේ ය. එකක් උෂ්ණ ය. එකක් සිතල ය. ඒ දෙක ම ත් හස්තයන් දවන්නාහු වෙති. ඒ කාරණයෙන් කුශලයත් දුක්ඛයත් දෙක එකට නො උපදනේ ය යි කී වචනය සැබෑ වන නියාව ද? යි කීසේක. එකල රජ්ජුරුවෝ අනේ! ස්වාමීනි, වජ්‍රොපම වූ තීක්ෂණ වූ ප්‍ර‍ඥාවෙන් යුක්ත වූ නුඹවහන්සේ වැනි ශ්‍රෙෂ්ඨවාදීන් හා සමග කථා කරන්නට මම අසමර්ථයෙමි. යහපත් කොට අර්ථ වදාළ මැනැවැ ආරාධනා කළහ.

 

එකල තෙරුන් වහන්සේ අභිධර්මයෙන් යුක්ත වූ ධර්මකථාවෙන් මිලිඳුරජ්ජුරුවන්ට චිත්තවිභාගය අවබොධ කර වදාළසේක. මහරජානෙනි, ලොකාමිසය යි කියන ලද පඤ්චකාමසම්පත්තිය අනුභව කරණ පෘථග්ජනතෙම තමන් ලද්දා වූ චක්ඛුවිඤ්ඤෙය්‍ය වූ යහපත් වූ රූපයෙහි හෝ නුමුළා ව ලැබීමට නියත වූ රූපයෙහි හෝ කරණ ලද ගෙහනිශ්‍රීත වූ සන්තොසසිතෙක. එසේ ම සොතවිඤ්ඤෙය්‍ය වූ ශබ්දයෙහි උපදනා සන්තොසසිතෙක. ඝාණවිඤ්ඤෙය්‍ය වූ සුගන්ධයෙහි උපදනා සන්තොස සිතෙක. ජිව්හා විඤ්ඤෙය්‍ය වූ රසයෙහි උපදනා සන්තොසසිතෙක. කාය විඤ්ඤෙය්‍ය වූ ස්පර්ශයෙහි උපදනා සන්තොසසිතෙක. මනොවිඤ්ඤෙය්‍ය වූ සිතිවිල්ලෙහි උපදනා සන්තොසසිතෙකැ යි කියා ගෙහනිශ්‍රීත වූ සොම්නස්චිත්තයෝ සදෙනෙක. මෙකී චක්ඛුවිඤ්ඤෙය්‍ය වූ රූපාදි සවැදෑරුම් වූ සම්පත්තීන්ගේ නො ලත් සැපත් නො ලැබීමෙන් හෝ ලත් සැපත් පිරිහීමෙන් හෝ ගෘහස්ථයාට උපදනා ගෙහනිශ්‍රිත වූ දොම්නස්සිත් සදෙනෙක. චක්ඛුවිඤ්ඤෙය්‍ය වූ රූපාදී මෙකී සවැදෑරුම් සම්පත්තීන්ගේ ආදිනවය නො දැන සකුරුපිඩෙහි නිලීන ව වසන මැස්සකු මෙන් පඤ්ච කාමසැපත් (49) ස්ථිරයක් මෙන් සිතා මධ්‍යස්ථාකාරයෙන් පවත්නා ගෙහනිශ්‍රීත උපෙක්ෂාචිත්තයෝ සදෙනෙක. චක්ඛුවිඤ්ඤෙය්‍ය වූ රූපය සොතවිඤ්ඤෙය්‍ය වූ ශබ්දාදි සවැදෑරුම් වූ සම්පත්තීන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය, නස්නා ස්වභාව ධර්මයෝ ය යි කියා සම්‍යක්ප්‍ර‍ඥාවෙන් බලා ප්‍ර‍ථමධ්‍යානවිදර්ශනාදිගුණයට පැමිණියාහට නෛෂ්ක්‍ර‍ම්‍ය වශයෙන් උපදනා සොම්නස් චිත්තයෝ සදෙනෙක. ප්‍ර‍ථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, පඤ්චමධ්‍යාන අර්හත්ඵලයට උත්සාහ කොට නො ලැබ කවර දවසක ලැබේ දේ හෝ යි කියා උපදනා වූ නෛෂ්ක්‍ර‍ම්‍යදොම්නස්චිත්තයෝ සදෙනෙක. චක්ෂුර්ද්වාරාදිෂඩායතනයන්ට යහපත් වූ රූපාදියක් පැමිණි කල එහි නො ඇලීමෙන් හා අනිෂ්ටයකත් අදූෂණ ව විදර්ශනාඥානයෙන් යුක්ත වූ නෛෂ්ක්‍ර‍ම්‍යඋපෙක්ෂාචිත්තයෝ සදෙනෙකැ යි කියා මේ චක්‍රයෝ සදෙන අතීතයටත් සොම්නස් දොම්නස් උපෙක්ෂා වේදනා වශයෙන් සතිස්වැදෑරුම් වෙති. අනාගතයටත් සතිස්වැදෑරුම් වූ වේදනාකෙනෙක් වෙති. වර්තමානකාලයටත් සතිස්වැදෑරුම් වූ වේදනා කෙනෙක් වෙති. ඒ සියලු ම චිත්තවිශෙෂය එකට සංඥාකොට එකට බහාලමින් එක්සිය අටක් වේදනාචිත්තයෝ වන්නාහු ය යි කියා සර්වඥසූර්යදිව්‍යරාජයාගේ දෙශනාරශ්මිකදම්බය දක්වා ලූසේක. එකල මිලිඳු රජ්ජුරුවෝ අති ප්‍ර‍සන්න ව ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිදක්ෂ වූසේකැ යි ස්තුති කළහ.

 

නැවතත් රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, උත්පත්ති වශයෙන් කවරෙක් පිළිසිඳ ගණීදැ? යි කීහ. ඒ අසා තෙරුන් වහන්සේ මහරජානෙනි, නාමරූපදෙක පිළිසිඳ ගන්නේ ය යි කීසේක. කිමෙක් ද? මේ ජාතියෙහි නාමරූපදෙක ම අනික් තැනකත් පිළිසිඳ ගන්නේ දැ? යි කීහ. මහරජානෙනි, මේ සිතත් ඇඟත් කරණ කොට ගෙණ යහපත් වූ පවිටු වූ හෝ කර්මයක් කෙරේ ද, ඒ කර්මයෙන් අනික් නාමරූපයක් පිළිසිඳ ගන්නේ ය යි කීසේක. ඉදින් ස්වාමීනි, මේ සිතත් ඇඟත් දෙක ම අනික් තැනක නො උපදී නම්, ඒ සත්වතෙම පාපකර්මයෙන් මිදෙන ලද්දේ ම වන්නේ නො වේ දැ? යි කීහ. එවිට තෙරුන් වහන්සේ ඇයි, මහරජ, ඉදින් නො පිළිසිඳ ගන්නේ වී නම්, පාපකර්මයෙන් මිදුනේ වන්නේ ය. යම් හෙයකින් පිළිසිඳ ගණී නම්, එකාරණයෙන් පාපකර්මයෙන් නො මිදුනේ ය යි කීසේක.

 

ස්වාමීනි, උපමාවක් කරන්නැ යි කීහ. මහරජානෙනි, කිසියම් පුරුෂයෙක් අනික් පුරුෂයෙකුගේ අඹ සොරා ගෙණ යන්නේ ය. එකල අඹ ස්වාමියා අඹ සොර පුරුෂයා අල්වා ගෙණ ගොස් දේවයන් වහන්ස, මේ පුරුෂයා විසින් මාගේ අඹ සොරකම් කරණ ලද්දේ ය යි කියා රජ්ජුරුවන්ට දැක්වූයේ වී නම්, සොරතෙම අනේ! ස්වාමීනි, මම මොහුගේ අඹ සොරකම් නො කෙළෙමි. මොහු විසින් රොපනය කරණ ලද යම් අඹපල කෙනෙක් ඇද් ද, ඒ අඹ වෙන ය. මා විසින් ගන්නා ලද අඹ අනිකෙක. මම දණ්ඩනයට ප්‍රාප්ත නො වෙමි යි මෙසේ කියා නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ පුරුෂතෙම දණ්ඩප්‍රාප්ත වේ දැ? යි විචාළ සේක. එසේ ය, ස්වාමීනි, දණ්ඩප්‍රාප්ත වන්නේ ය යි කීහ. කවර කාරණයකින් දැ? යි විචාළසේක. ඇයි (50) ස්වාමීනි, ඒ පුරුෂතෙම මෙසේ කියන්නේ වී නමුත්, පළමුවෙන් රොපණය කළ අඹ ප්‍ර‍වෘත්ති නො සලකා එයින් පසු ව පල ගත් අඹ කරණ කොට ගෙණ ඒ පුරුෂතෙම දණ්ඩන ප්‍රාප්ත වන්නේ ය යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම මේ නාමරූපය කරණ කොට ගෙණ යහපත් වූ හෝ පවිටු වූ හෝ කර්මයක් කෙරේ ද, ඒ කර්මය කරණ කොට ගෙණ අනික් නාමරූපයක් පිළිසිඳ ගන්නේ ය. එහෙයින් පාපකර්මයෙන් නො මිදුනේ ය යි කීසේක.

 

ස්වාමීනි, නැවැතත් උපමාවක් කර වදාළ මැනැවැ යි කීහ. මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් අනික් පුරුෂයකුගේ ඇල්වී සොරකම් කෙළේ වී නම්, ඒත් යථොක්ත ක්‍ර‍මයෙන් දත යුත්තේ ය. උක්දඬු සොරකම් කෙළේ වී නම්, ඒත් ආම්‍රොපමාව මෙන් දත යුත්තේ ය. මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් තෙම හෙමන්තකාලයෙහි ගිනි දල්වා ගිනි තැප නො නිවා ගියේ වී නම්, නැවත ඒ ගිනි අනික් පුරුෂයෙකුගේ පැසෙන පූදින කුඹුරක් හෝ හේනක් හෝ දවා ගියේ වී නම්, ක්ෂේත්‍ර‍ස්වාමියා ඒ පුරුෂයා අල්වා ගෙණ රජගෙට ගොස් දෙවයන් වහන්ස මේ පුරුෂයා විසින් මාගේ ක්ෂේත්‍ර‍ය දවන ලද්දේ ය යි කියා රජ්ජුරුවන්ට දැක්වූයේ වී නම්, එකල ඒ පුරුෂතෙම අනේ! ස්වාමීනි, මම මොහුගේ කෙත නො දැවූයෙමි. මා විසින් යම් ගින්නක් නො නිවන ලද ද, ඒ ගින්න අනිකෙක. යම් ගින්නකින් මොහුගේ කෙත දවන ලද ද, ඒ ගින්න අනිකෙක. එහෙයින් මම අපරාධ ප්‍රාප්ත නො වෙමි යි මෙසේ කියන්නේ වී නම්, කිමෙක් ද මහරජානෙනි, ඒ පුරුෂතෙම දණ්ඩප්‍රාප්ත වේ දැ? යි විචාළසේක. එසේ ය ස්වාමීනි, දණ්ඩප්‍රාප්ත වන්නේ ය යි කීහ. කවර කාරණයකින් දැ? යි විචාළසේක. ඇයි, ස්වාමීනි, ඒ පුරුෂ තෙම මෙසේ කීයේ වී නමුත් පළමුවෙන් ආ ගිනි කරණ කොට ගෙණ ඒ පුරුෂ තෙම දණ්ඩන ප්‍රාප්ත වන්නේ ය යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම මේ නාමරූපයෙන් යහපත් වූ කුශලයක් හෝ පවිටු වූ අකුශලයක් හෝ (යන) යම් කර්මයක් කෙරේ ද, ඒ කර්මයෙන් අනික් නාමරූපයක් පිළිසිඳ ගන්නේ ය. ඒ කාරණයෙන් පාපකර්මයෙන් නො මිදෙන්නේ ය යි කීසේක.

 

ස්වාමීනි, නැවතත් විශෙෂ වූ උපමාවක් කර වදාළ මැනැවැ යි කීහ. මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක්තෙම ප්‍ර‍දීපයක් ගෙණ උඩුමාලට නැගී බත් අනුභව කරන්නේ ය. එකල ඒ ප්‍ර‍දීපය තෙල් සහ ඇවිලෙමින් ගිනි නැඟී තෘණසෙවෙනි දවන්නේ ය. තෘණසෙවෙනි ද දවා ගෙය දවන්නේ ය. ගෙය දවමින් ගමේ සමීප ගෙවල් දවන්නේ ය. එකල ගමේ ජනයෝ ඒ පුරුෂයා අල්වා ගෙණ එම්බල පුරුෂය, තෝ කුමක් පිණිස අපගේ ගම පිළිස්සුයෙහි දැ? යි මෙසේ කීවාහු නම්, ඒ පුරුෂතෙම පින්වත්නි, මම තොපගේ ගම නො දැවූයෙමි. මම යම් ප්‍ර‍දීපයක්හුගේ ආලොකයකින් අනුභව කෙළෙම් ද, ඒ ප්‍ර‍දීපාග්නිය අනිකෙක. යම් ගින්නකින් ග්‍රාමය දවන ලද ද, ඒ පසු ඇවුළුනු ගින්න අනිකෙකැ යි කියා නම්, ඒ මනුෂ්‍යයෝ විවාද කෙරෙමින් මහරජ, තොපගේ, සමීපයට ආවාහු වූ නම්, මහරජ, තෙපි කාට අර්ථ ධරමින් නඩු කියන්නහු දැ? යි විචාළ සේක. ස්වාමීනි, ග්‍රාමජනයාහට නඩු කෙරෙමි යි කීහ. හේ කුමක් නිසා දැ? යි විචාළසේක. (51) ඒ පුරුෂතෙම මේ ආකාරයෙන් කෙසේ කියන්නේ වී නමුත්, කිමෙක් ද, ඒ ප්‍ර‍දීපාග්නියෙන් ම ඒ ග්‍රාමයන් දැවූ ගිනි උපන්නේ ය යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම කිසිසේත් මරණාන්තිම වූ නාමරූපය අනිකෙක. ප්‍ර‍තිසන්ධියෙහි උපදනා නාමරූපය අනිකෙක. එසේ නමුත් ඒ මරණාසන්න වූ නාමරූපයෙන් ම ඒ ප්‍ර‍තිසන්ධි නාමරූපය උපදනේ ය. ඒ කාරණයෙන් පවිටු වූ අකුශලකර්මයෙන් නො මිදෙන ලද්දේ ය යි කීසේක.

 

ස්වාමීනි, තවත් උපමාවක් කර වදාළ මැනැවැයි කීහ. මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක්තෙම ලදරු වූ කුමාරිකාවක් තමාට සරණ ගෙණ යන පිණිස නියම කොට ගෙණ ජීවත් වීමට වැටුප් දී ගියේ වි නම්, ඕ[61] තොමෝ මෑතභාගයෙහි මහත් ව වයස් ප්‍රාප්ත වූවා ය. ඉක්බිති වෙනින් පුරුෂයෙක් වැටුප් දී සරණමඟුල් කෙළේ වී නම්, අනික් පළමු පුරුෂයා අවුත් එම්බල පුරුෂය, තෝ කුමක් පිණිස මාගේ භාර්යාව සරණ ගෙණ ගියෙහි දැ? යි මෙසේ කීයේ වී නම්, ඒ අළුත් පුරුෂයා මම තාගේ භාර්යාවක් නො ගෙණායෙමි. තා විසින් යම් ස්ත්‍රියක් නියම කරණ ලද ද, වැටුප් දෙන ලද ද, ලදරු වූ තරුණ වූ ඒ ලදැරිතොම වෙනින් ස්ත්‍රියක. මා විසින් යම් ස්ත්‍රියක් නියම කරණ ලදද, වැටුප් දෙන ලද ද, යෞවන වයසට පැමිණියා වූ වැඩී මහත් වූ මේ ස්ත්‍රිතොම වෙනින් ස්ත්‍රියක යි මේ ආකාර කියන්නේ වී නම්, ඒ දෙදෙනා විවාද කෙරෙමින් තොපගේ සමීපයට ආවාහු වූ නම්, මහරජානෙනි, තෙපි ඒ දෙදෙනාගෙන් කාට අර්ථ සාධමින් නඩු සාදන්නහු දැ? යි විචාළසේක. ස්වාමීනි, පළමු පුරුෂයාට නඩු සාදමි යි කීහ. කවර කාරණයකින් දැ? යි විචාළසේක. ඒ පුරුෂ තෙම මේ ආකාර කෙසේ කීයේ වී නමුත්, කිමෙක් ද, ඒ ලදැරිතොම ලදරු දා පටන් ක්‍ර‍මයෙන් ම මහත් ව උපන්නී නො වේ දැ? යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම කෙසේ නමුත් මරණාන්ත වූ නාමරූපය යි කියන ලද චිත්තචෛතසිකයන් හා අටළොස් වැදෑරුම් වූ රූප ය යි කියන ලද මේ නාමරූපය අනිකෙක. ප්‍ර‍තිසන්ධියෙහි පිළිසිඳිනා නාමරූපය අනිකෙක. එතෙකුදු වුවත් ඒ මරණාන්තිම වූ නාමරූපයන් ම ඒ ප්‍ර‍තිසන්ධියෙහි උපදනා නාමරූපය උපදනා ලද්දේ ය. ඒ කාරණයෙන් පාපකර්මයෙන් නො මිදෙන ලද්දේ ය යි කීසේක.

 

ස්වාමීනි, නැවතත් විසිතුරු වූ උපමාවක් කර වදාළ මැනැවැ යි කීහ. මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් ගවපාලයෙකුගේ අතින් කිරිකළයක් මිල දී ගෙණ ඔහුගේ අත ම තබා සෙට ගෙණ යෙමි යි කියා ගියේ වී නම්, දෙවෙනි දවස් ඒ කිරි දීකිරි වූයේ ය. එකල ඔහු අවුත් මාගේ කිරිකළය දෙව යි මෙසේ කියන්නේ වී නම්, ඒ ගවපාලයා දීකිරි දක්වා දෙන්නේ ය. අනික් පුරුෂයා මම තාගේ අතින් මේ දීකිරි මිල දී නො ගත්තෙමි. මාගේ කිරිකළය ම දෙව යි මෙසේ කියා නම් ඒ ගවපාල පුරුෂතෙම එම්බල, තාගේ කිරි දීකිරි වූ බව නො දන්නෙහි දැ? යි මෙසේ කියන්නේ වී නම් විවාද ඇත්තා වූ ඒ දෙදෙනා තොපගේ සමීපයට ආවාහු වූ නම්, මහරජානෙනි, තෙපි කවරෙකුහට හිතාර්ථය ධරන්නාහු දැ? යි විචාළසේක. ස්වාමීනි, ගවපාලයාහට ය යි කීහ. කුමක් පිණිස දැ යි විචාළසේක. ඒ පුරුෂතෙම මේ ආකාර කෙසේ කියන්නේ වී නමුත් කිමෙක් ද (52) ඒ දීකිරි එම කිරෙන් ම උපන්නේ ය යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම කෙසේ නමුත් මරණාන්තිම වූ චිත්තය හා රූපය අනිකෙක. ප්‍ර‍තිසන්ධියෙහි වන චිත්තය හා අතිසුඛුම වූ කලල රූපය අනිකෙක. එතෙකුදු වුවත් ඒ ආත්මභාවය පළමු ආත්මභාවය නිසා ම උපන්නේ ය. එහෙයින් පාපාදිකර්මයෙන් ආත්මය නො මිදුනේ ය යි කියා වදාළසේක. එකල මිලිඳුරජ්ජුරුවෝ අතිප්‍ර‍සන්න ව ස්වාමීනි, නාගසෙනස්ථවිරයන් වහන්ස, අතිදක්ෂ වූසේකැ යි කියා ප්‍ර‍ශංසා කළහ.

 

නැවැතත් රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ නැවැත පිළිසිඳීම් වශයෙන් උපදනාසේක් දැ? යි කීහ. මහරජානෙනි, ඒ ඇසූ දෙයින් කම් කිම් ද? එපමණෙක් ම ය. මහරජ, ඉදින් උපාදානසහිත වීම් නම්, පිළිසිඳ ගණිමි. ඉදින් අනුපාදාන වීම් නම් නො පිළිසිඳ ගන්නෙමි යි කියා පළමු කොට ම මා විසින් කියන ලද්දේ නො වේ දැ? යි කීසේක. උපමාවක් කර වදාළ මැනැවැ යි කීහ. මහරජානෙනි, යම් සේ කිසියම් පුරුෂයෙක් රජක්හට අධික වූ රාජකෘත්‍ය කරන්නේ වී නම්, සන්තුෂ්ට වූ රජ්ජුරුවෝ ඕහට ඊශ්වර වූ තනතුරු දෙන්නාහු ය. ඒ අමාත්‍යතෙම ඒ ප්‍ර‍ධාන වූ තනතුර කරණ කොට ගෙණ පඤ්චකාම සම්පත්තියෙන් සමප්පිත ව සමංගිභූත ව හැසිරෙන්නේ ය. ඉදින් ඒ අමාත්‍යතෙම රජ්ජුරුවෝ මට මදකුත් උපකාරයක් නො කරණ සේකැ යි කියා මහජනයාට කියන්නේ වී නම්, කිමෙක්ද, මහරජානෙනි, ඒ අමාත්‍යපුරුෂතෙම යුක්තකාරී වේ දැ? යි විචාළසේක. නැත. ස්වාමීනි, රජ්ජුරුවෝ තව කුමක් කෙරෙද් ද? එලෙස කීම සුදුසු නැතැ යි කීහ. මහරජානෙනි, එපරිද්දෙන් ම පළමුවෙන් අසන ලද මේ වචනයෙන් තොපට කම් කිම් ද? ඉදින් හරවා ගත නො හැක්කා වූ කාමතෘෂ්ණාදි වූ උපාදාන සහිත වීම් නම් පිළිසිඳ ගණිමි. ඉදින් කාමතෘෂ්ණාදීන් පහ කිරීමෙන් අනුපාදාන වීම් නම්, සසර නො පිළිසිඳ ගන්නෙමියි කියා මා විසින් පළමු කොට ම කියන ලද නො වේ දැ? යි කීසේක. එකල ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූසේකැ යි ප්‍ර‍ශංසා කළහ.

 

නැවැතත් රජ්ජුරුවෝ ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නාමරූපය යි කියා යම් මේ වචනයක් වදාළසේක් ද? එහි නාමය කවරේ ද? රූපය කවරේ දැ? යි කීහ. මහරජානෙනි, ඒ නාමරූපයෙහි යමක් ඔළාරික වී ද, ඒ මේ රූපය රූප නම් වෙයි. ඒ නාමරූපයෙහි යම් සුඛුම වූ චිත්තචෛතසිකධර්මකෙනෙක් ඇද්ද, ඒ මේ නාමය නම් වෙයි කීසේක. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කවර කාරණයකින් සිත ම වෙන ම පිළිසිඳ නො ගණී ද? රූපය ම වෙන ම නො උපදී දැ?යි විචාළෝ ය. මහරජානෙනි, මේ රූපාරූපධර්මයෝ මලුත් සුවඳත් මෙන් ඔවුනොවුන් ආශ්‍ර‍ය කොට ඇත්තාහු ය. උපදනා කල එකට ම උපදනාහු[62] යි කීසේක.

 

ස්වාමීනි, උපමාවකුත් කර වදාළ මැනැවැ යි කීහ. මහරජානෙනි, යම් සේ කිකිළියකගේ කලල ය යි කියන ලද ආපෝසාරුව නො වන්නේ වී නම් බීජයත් නො වන්නේ ය. ඒ කිකිළියගේ කුක්ෂියෙහි යම් කලලයක් ඇද් ද, යම් බිජුකබලක් ඇද් ද, ඒ දෙක ම ඔවුනොවුන් ආශ්‍ර‍ය කොට ඇත්තාහු ය. ඒ දෙදෙනාගේ එකට ම උත්පත්තිය වන්නේ ය. එපරිද්දෙන් ම මහරජානෙනි, ඉදින් ඒ (53) රූපාරූපධර්මයෙහි නාමය නො වන්නේ වී නම්, රූපයත් නො වන්නේ ය. එහි යමක් නාමය වේ ද, යමක් රූපය වේ ද, ඒ දෙදෙන ම අඤ්ඤමඤ්ඤූපනිස්සිත වූවාහු ය. ඒ දෙදෙනාගේ එකට ම ඉපදීම වන්නේ ය. මෙසේ මේ නාමරූපය අනන්ත වූ දීර්ඝකාලයක් මුළුල්ලෙහි පුරුදු වන ලදැයි වදාළසේක. එකල ඒ අසා සාධුකාර දෙමින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අතිදක්ෂ වූසේකැ යි කියා ප්‍#