කර්ම විපාක

 

පටුන වෙත

 

 

සම්පාදක

 

පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි

 

 

ධර්ම දානය පිණිස නොමිලේ බෙදාහැරීම සඳහා මුද්‍රණය කරන ලදී.

 

2556

2012

 


වචනයක් ...

අප සම්මා සම්බුද්ධ සාසනයෙ හි මහා පිනැති තේජවන්ත මහ රහතන් වහන්සේ නමක් වැඩ සිටිය හ. උන්වහන්සේ නමින් උත්තර නම් විය. මේ උත්තර මහ රහතන් වහන්සේ මීට කල්ප තිස් දාහකට පෙර දී කරන ලද පිංකමක ආනිසංස බලයෙන් සාංසාරික ජීවිතය සුවපත් විය. කල්ප තිස්දහසකට පෙර සුමේධ නමින් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූහ. උන් වහන්සේ විවේක සුවයෙන් ගසක් මුල වැඩ සිටින අවස්ථාවේ එක්තරා තරුණ ළමයෙක් ලඟ තිබූ ගසකින් කිණිහිරියා මල් තුනක් කඩා ගෙන බොහො ම ගෞරව භක්තියෙන් දොහොත් මුදුනේ තබා බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී පාද මූලයේ තබා පූජා කළේ ය. මේ පූජාමය පින ඔබ වහන්සේ යම් ධර්මයක් අවබෝධ කළේ ද? එම ධර්මය මට ද අවබෝධ කර ගැනීමට ලැබේවා යි ප්‍රාර්ථනා කරන ලදි.

එදා පටන් මේ බුදු සසුන දක්වා කාලය වර්ෂ ගණනින් නොව කල්ප ගණනින් තිස් දහසක් විය. මේ කාලය තුළ මල් පූජා කිරීමේ පුණ්‍ය බලයෙන් සතර අපා දුකින් අත් මිදුනේය. දෙව් මිනිසුන් අතර ලබන්නට තිබෙන සකල සම්පත් ලබන ලදි. දීර්ඝායුෂ, නිරෝගි බව, දර්ශණීය ජීවිත, පරිවාර සම්පත් ඇති ජීවිත, උසස් කුල සම්පත්, මහා ධන සම්පත්, දිව්‍ය මාලිගා, පිනැති දරු සම්පත්, මහා ප්‍රඥාවන්ත ජීවිත, මහේශාක්‍ය මහානුභාව සම්පන්න ජීවිත ලැබූ අතර දීප චක්‍රවර්ති රජකම වරක් ද සක්විති පදවිය වරක් ද ලබන ලදි. එසේ ම රටවල් පාලනය කරන රජකම්, ඇමතිකම් ලැබූ වාර ගණන සීමාවක් නො මැත.

මෙතරම් අනුසස් රාශියක් උත්තර මහ රහතන් වහන්සේ සසරදී ලැබුවේ මල් තුනක් පූජා කිරීමේ ආනිසංසයෙනි. අවසානයේ දී උත්තර කුමරුවා මේ බුදු සසුනේදී පැවිදි වී සිව්පිළිසිඹියා ඤාණ, ෂඞ්අභිඤ්ඤා, ත්‍රිවිද්‍යා ලබා උතුම් අරහත්වයට පත් වූ සේක. අරහත්වය දක්වා ම එම පිංකම උත්තර මහ රහතන් වහන්සේට හේතු උපනිශ්‍රය විය. “කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම්කිසි කර්මයක් කරන්නේ නම් එයට උරුමකරු වන්නෙමි යි නිරතුරු නුවණින් මෙනෙහි කළ යුතු ය” යනු ඒ බුද්ධ වචනයේ තේරුම යි.

ඉමහත් ශ්‍රද්ධාවෙන් නුවණින් මේ දහම් පොත සම්පාදනය කළ පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ ආයුෂ්මතුන් වහන්සේට තව තවත් උදාර ලෙස ධර්ම දානයන් සපිරීමට නිරෝගි සුව, දීර්ඝායුෂ, රත්නත්‍රයානුභාව බලයෙන් අභිවර්ධනය වේවා.

 

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”

 

මෙයට පිනැති

නාඋයනේ අරියධම්ම ස්ථවිර,

නාඋයන ආරණ්‍ය සේනාසනය,

පන්සියගම.

 


සංඥාපනය

 

කම්මං සත්තේ විභජති යදිදං හිනප්පණිතතායාති”

 

මහා කාරුණික අසරණ සරණ ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සත්වයන් හීන ප්‍රණීත ලෙස උසස් පහත් ලෙස බෙදනු ලබන්නේ කර්මය විසිනි. කර්මය පිළිබඳ සම්බුදු දහමේ දේශිත ධර්ම පාඨ බොහෝ ඇතත් මෙහිදි මා උත්සහ ගත්තේ සරල බසින් කථා පුවත් අනුසාරයෙන් කර්ම විපාක පැහැදිලි කිරීමට ය. කරන ලද කර්මයේ විපාකයෙන් ගැලවීමට හැකි කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මේ තුන් ලෝකයේ ම නැත. මනුලොව සිට අකනිටා බඹලොව දක්වා මේ සක්වල පුරා අබ ඇට පිරවූයේ නමුදු ඒ අබ ඇට ගණනට වඩා විශ්වයේ තවත් සත්වයන් වාසය කරන සක්වලවල් ඇති බව ධර්මයේ සඳහන් වේ. නමුත් කර්මයේ විපාකයෙන් බේරීමට හැකි පුද්ගලයෙකු නම් මේ විශ්ව ලෝක ධාතුව තුළ ම නැත.

 

මෙම ධර්ම ග්‍රන්ථයේ කර්මය පිළිබඳ විස්තර ස්වල්ප නමුදු කර්ම විපාකය පිළිබඳ බොහෝ විස්තර ගැබ්කොට දක්වා ඇත. මුලින්ම කර්මය යන්න පැහැදිලි කොට පසුව මෙහි කුසල කර්ම විපාක දක්වන ලදි. කුසල කර්ම විපාක නම් කුසලානිසංසයෝ ය. ඒ යටතේ කුසල කර්ම හැටකට ආසන්න ප්‍රමාණයක් ද, කුසල විපාක හෙවත් ආනිසංස 354 ක් ද දක්වන ලදි. මේ තුළින් මා සත්පුරුෂ ඔබට කීමට බලාපොරොත්තු වූයේ, පැහැදුන සිතින් නුවණ යොදා තැම්පත් මනසින් කරන ලද කුඩා නමුදු පිංකම මහත් සැප විපාක ගෙන දෙන බව ය. එසේම මෙවැනි පිංකම් කරන සත්පුරුෂයින් ගේ සිත්වලට නව ජීවයක් ලබා දීමට ද අපේක්ෂා කළෙමු. එය එසේම සිද්ධ වේවා!

 

මේ ග්‍රන්ථයෙහි දෙවනුව පෙන්වා ඇත්තේ අඳුරු විපාක පිළිබඳව වේ. අඳුරු විපාක නම් අකුසල කර්මයක් හේතුවෙන් ගෙන දෙන දුක් විපාක වේ. ඒ යටතට අට මහ නිරයට යෑමට සිදුවන කර්ම හා ඉන් ගෙන දෙන දුක් විපාක දක්වා, නිමි රජු දුටු ඔසුපත් නිරයන් 15 ක් හා එහි යෑමට සිදුවන හේතු සහිතව දක්වන ලදි. ඉක්බිති සංවේග දනවන සුලු වූ අසරණ ප්‍රේත ප්‍රේතියන් ගේ කථා කිහිපයක් හා එහි ඉපදීමට හේතු වූ කර්ම සහිතව දක්වන ලදි.

 

මිනිස් ලොව විපාක දෙන පූර්ව කර්ම 56 ක් දක්වන ලද්දේ අපාය දුක් නොපිළිගන්නා මෝහයෙන් මුළා වී පැටලී සිටින අසරණයන්ට මනුලොවින් කරුණු පෙන්වීමට ය. ග්‍රන්ථයේ දෙවන කොටස වූ “අඳුරු විපාක” පිළිබඳව කළ දීර්ඝ විස්තරයෙන් මා බලාපොරොත්තු වූයේ, දූෂිත සිතින් කරන ලද ඉතා කුඩා පාපය නමුදු මහත් දුක් විපාක ගෙන දෙන බව කීමට වේ. එසේම අවිදු අඳුර හේතුවෙන් පාපයන්හි ඇලී වාසය කරන මිනිසුන් හට සංවේග පහළ වී සුමඟට යොමු වේවා යන මෛත්‍රී සිතිනි.

 

මෙයට, මෙතැති

රිදියගම සුධම්මාභිවංශ හිමි.

 

නිමලව ආරණ්‍ය සේනාසනය

කිරින්ද - තිස්සමහාරාමය.

 

දිනය -     2547

 2004-01-20

 


පටුන

 

සංසාරය. 1

සංසාරයේ ආයු කාලය (වේපුල්ල සූත්‍ර‍ය) 2

කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද ? 4

මිථ්‍යා දෘෂ්ටිය. 7

නාස්තික දෘෂ්ටිය. 7

අහේතුක දෘෂ්ටිය. 8

අක්‍රිය දෘෂ්ටිය. 8

මිථ්‍යා දෘෂ්ටියේ ඵල විපාකයන්.. 9

ශ්‍ර‍ද්ධාව ඇතිකර ගැනීමට නම්. 10

සතර අචින්ත්‍ය ධර්ම.... 11

කර්මය. 12

කර්මය යනු කුමක් ද? 13

අඳුරු විපාක.. 14

නරකය. 15

අටමහ නිරය. 16

නිමි රජු දුටු නිරයන් හා එහි යෑමට හේතුවන කර්ම.... 17

තිරිසන් අපාය. 25

අසුර අපාය. 25

ප්‍රේත ලෝකය. 26

ප්‍රේත වස්තු කථා කිහිපයක්.. 27

කය වචනය අසංවර වීමේ විපාකය. 34

මසුරු ධර්ම පහෙහි අඳුරු විපාක.. 34

මිනිස් ලොවදී විපාක දුන් පූර්ව කර්ම.... 36

ඛුජ්ජුත්තරාව දාසියක් වීමට හේතුව. 36

ඛුජ්ජුත්තරාව කුදු වීමට හේතුව. 36

චුල්ල පන්ථක හිමිට සිවු මසක් ගත වී ද එක් ගාථාවක් පාඩම් නො වීමට හේතුව. 36

චක්ඛුපාල හිමියන් ගේ දෙනෙත් අන්ධවීමට හේතුව. 37

බිම්බිසාර රජු ගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව. 37

බිහි වූ දිනම කසළ ගොඩකට දමන ලද අසරණ දරු ජීවිතයක ශෝකාකූල කථාව. 38

දෙමාපියන් විසින් අතහැරදා ගිය ඝෝසක සිටු. 38

සාමාවතිය ඇතුළු 500 ක් ස්ත්‍රීන් ගින්නෙන් මැරෙන්න හේතුව. 39

පූතිගත්ත තිස්ස හිමි ගේ සිරුර කුණු වී දුක් විඳීමට හේතුව  39

සෝරෙය්‍යක සිටු ගේ අද්භූත කර්මය. 40

සප්පදාස හිමි නයකු ගේ කටේ අතදමා ද නාගයා දෂ්ඨ නො කිරීමට හේතුව. 40

සප්පදාස හිමි උකටලී වූයේ මහණකම එපා වූයේ ඇයි? 41

නාවිකයා ගේ බිරිඳට මුහුදේ ගිලී මැරෙන්න වූයේ ඇයි? 41

ගිනිගෙන දැවුනු කපුටා ගේ කථාව. 42

භික්ෂූන් හත් නමක් ගල් ලෙනක සිරවී දුක් විඳි කථාව. 42

ලද සම්පත් පරිභෝග කිරීමට වාසනාවක් නැති අපුන්තක සිටු. 43

පිනට පහළ වූ උක්ගස් දඬුවම් දුන් කථාව. 43

රහත් වූ වේද පිරිනිවෙන තුරු කුස පිරෙන්න ආහාරයක් නො ලද ලෝසක හිමි. 44

අවුරුදු විසි දහසක් මහණදම් කල හිමිනමක් නාගයෙකු වූ කථා පුවත.. 45

දරුවන් නැති සිටුවරයෙකු ගේ කථාවක්.. 46

රජගහ නුවර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා... 46

බෝධිරාජ කුමාරයාට දරුවන් නැති හේතුව. 46

මල්ලිකා දේවිය දින හතක් අපායට යෑමට හේතුව. 47

රෝහිණී කුමරිය ගේ කුෂ්ඨ රෝගයට හේතුව. 47

කුණ්ඩදාන හිමි පසු පස කාන්තාවක් ඒමට හේතුව. 48

කපිල මත්ස්‍යයා ගේ කථාව. 48

මහාකාල උපාසක ගුටි කා මැරුම් කෑමට හේතුව. 49

සසර පුරුදු ඉදිරියට යන බව. 50

පනස්පස් වසක් අසූචි කා ජීවත් වූ මිනිසෙක්.. 51

ලකුණ්ඨක භද්දිය හිමි මිටි වී ඉපදීමට හේතුව. 52

මුගලන් හිමි සොරුන්ගෙන් මැරුම් කෑමට හේතුව. 52

සීවලි මහ රහතන් වහන්සේ බොහෝ කාලයක් මව්කුස දුක් විඳි කර්මය. 53

සුචිලෝම යක්ෂයා වූ භික්ෂූව. 53

ඛරලෝම යක්ෂයා වූ උපාසකතුමා... 54

උත්තර නම් සාමණේර වහන්සේ උල තැබීමට හේතුව. 54

පද්මාවතී දේවිය ගේ තබන පියවරක් පාසා මල් පිපෙන පින නැතිවීමට හේතුව. 55

නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ චණ්ඩාල ගමක අනාථව ඉපදීමට හේතුව. 56

ස්වර්ණතිලකා කුමරිය සැඩොල් කුලයක ඉපදීමට හේතුව. 57

කැළණි තෙරුන් වහන්සේ කකියන තෙල් කටාරමකට දමා මරන්න හේතුව. 57

සාලිය කුමරු ගේ ආදරවන්තිය අශෝකමාලා සැඩොල් කුලයක ඉපදුනේ ඇයි? 58

දාසක හිමි දාසියක ගේ කුස ඉපදීමට හේතුව. 59

අඩ්ඪකාසිය ගේ විශිෂ්ට රූපසම්පත් ලැබීමට හා ගණිකාවක් වීමට හේතුව. 59

සාතාගිර හේමවත නැමති යක්ෂයන් වූ ත්‍රිපිටකධාරී භික්ෂූන් දෙනම. 59

මුවින් දුඟද පිටවන රූමතිය. 60

සුප්පිය රහතන් වහන්සේ පහත් කුලයක ඉපදීමට හේතුව. 61

සමිති ගුත්ත හිමි ගේ ශරීරය කුණු වී වැගිරෙන්නට හේතුව. 61

ආනන්ද ස්වාමීන් වහන්සේ පෙර ජාතියකදී කාන්තාවක් වී ඉපදීමට හේතුව. 62

සත්ව ඝාතනයේ ආදීනව. 63

බීජක නම් දාසයා ගේ පූර්ව කර්මය. 64

සාම කුමරුගේ මව්පිය දෙපල ගේ ඇස් අන්ධ වීමට හේතුව. 64

මහා පිනැති පුණ්ණා කුමරිය දාසියක වීමට හේතුව. 64

මෛත්‍රී බුදුරජුන් ගේ ශ්‍රී හස්තයෙහි ගෙඩියක් ඒමට හේතුව. 65

විනයධරයන් අතර අගතැම්පත් උපාලි හිමියෝ කරණවෑමියෙක් වීමට හේතුව. 66

අම්බපාලි වෛශ්‍යාවක් විමට හේතුව. 66

බොහෝ ස්වාමිපුත්‍රයන්ට ද හිඟමනේ ගොස් ජීවත් වූ මිනිසාට ද එපා වූ අහිංසකාවිය. 67

අනුන් ගේ වැසිකිළි පිරිසිදු කොට ජීවත් වන අසරණ සුනීතගේ පූර්ව කර්මය. 68

මෝඝරාජ හිමියන් ගේ මහා කුෂ්ඨ රෝගයට හේතුව. 69

දබ්බමල්ලපුත්ත හිමි අමූලික බොරු චෝදනාවලට ලක් වීමට හේතුව. 69

උපන්දාම ගඟේ පාකර දැමූ කිරිකැටි බිළින්දෙකු ගේ අභිමානවත් කථාව. 70

රහතුන් හෙළා දැක රඟ දක්වා ජීවත් වන්නා වූ අඹුසැමි යුවලක ගේ කථාව. 72

අසීමිත ගුණැති අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේට ද විපාක දුන් කර්ම දොළහ.. 74

කුසල විපාක.. 76

දානයේ ආනිසංස. 77

මල් පූජාවේ ආනිසංස. 79

පහන් පූජාවේ ආනිසංස. 80

සුවඳ දුම් පූජාවේ ආනිසංස. 81

සුවඳ පැන් ඉසීමේ අනුසස්. 82

ධර්මශ්‍රවණානිසංස. 83

ආහාර පිදීමේ ආනිසංස. 83

ඉදිකටු පූජාවේ ආනිසංස. 84

වස්ත්‍ර පූජාවේ ආනිසංස. 85

මෙට්ට පිදීමේ ආනිසංස. 85

ඡත්‍ර දානයේ ආනිසංස. 86

පාත්‍ර දානයේ ආනිසංස. 87

දැලි පිහියා පිදීමේ ආනිසංස. 87

මහ පිහියා පිදීමේ ආනිසංස පහ.. 88

නිය කපන අවි පිදීමේ ආනිසංස පහ.. 88

පවන් අතු පිදීමේ ආනිසංස අට. 88

පෙරහන් කඩ පිදීමේ ආනිසංස පහ.. 88

තෙල් තබා ගන්නා බඳුන් පිදීමේ ආනිසංස පහ.. 89

චෛත්‍යය පිරිසිදු කිරීමේ ආනිසංස. 89

ඉදිකටු ගුලා පිදීමේ ආනිසංස තුන.. 90

අංසකඩ පිදීමේ ආනිසංස තුන.. 90

පටි පිදීමේ ආනිසංස සය. 90

පාත්‍රා තබන ආධාර පිදීමේ ආනිසංස. 90

භාජන පිදීමේ ආනිසංස. 91

තැටි පිදීමේ ආනිසංස තුන.. 91

බෙහෙත් ඖෂධ පිදීමේ ආනිසංස. 92

පාවහන් පිදීමේ ආනිසංස. 92

දිය පිස්නා වස්ත්‍ර පිදීමේ ආනිසංස. 93

සැරයටි පිදීමේ ආනිසංස. 93

බෙහෙත් අඳුන් පිදීමේ ආනිසංස අට. 93

යතුරු හා යතුරු කොපු පිදීමේ ආනිසංස. 94

පටි පිදීමේ ආනිසංස පහ.. 94

බෝමළු ආදිය ඇමදීමේ ආනිසංස. 94

බෙහෙත් දුම්බොන පයිප්ප පිදීමේ ආනිසංස තුන.. 96

මහ සැළි හා කරඬු පිදීමේ අනුසස් දහය. 96

අඳුන් නල පිදීමේ ආනිසංස හතර. 96

කුඩා පිහියා හා ලොම් උදුරන අඬු දීමේ ආනිසංස. 97

නස්‍ය කිරීමේ උපකරණ පිදීමේ ආනිසංස අට. 97

පුටු පිදීමේ ආනිසංස. 97

කොට්ට පිදීමේ ආනිසංස සය. 98

පිදුරු බිසි පිදීමේ ආනිසංස. 99

පාපුටු පිදීමේ ආනිසංස දෙක.. 99

පාලම් ඒ දඬු ඉදිකිරීමේ ආනිසංස. 99

ඇඟ ගල්වන තෙල් පිදීමේ ආනිසංස පහ.. 100

ගිතෙල් හා තෙල් (පානය කරන) පිදීමේ ආනිසංස. 100

මුව පිරිසිදු කරන දෑ දීමේ ආනිසංස පහ.. 100

දී ආදිය පිදීමේ ආනිසංස. 101

සර්ව දානයෙහි ආනිසංස. 101

දෙපාවල සඳුන් ගැල්වීමේ ආනිසංස. 101

මල් රේණු, මල් වියන් ආදිය පිදීමේ ආනිසංස. 102

කුටි පූජාවේ ආනිසංස. 102

ධර්ම දානයේ වටිනාකම. 103

තිසරණ සමාදානයේ වටිනාකම. 105

සුභ නම් තරුණයා ඇසූ ප්‍ර‍ශ්න 14 හා පිළිතුරු දෙසුම. 107

පන්සිල් රැකීමේ ආනිසංස. 107

 

පුණ්‍යොනුමෝදනාව

 

මෙම ග්‍රන්ථය සම්පාදනය කළා වූ පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමියන්ටත් එය පළමුව මුද්‍රණය කර බෙදාහැරියා වූ එම පිරිසටත්, වාර කිහිපයක දී මෙම ග්‍රන්ථයේ වටිනාකම අවබෝධ කර ගනිමින් නැවත මුද්‍රණය කරමින් ධර්ම දානයට සහභාගි වූ ඒ සියළු පිරිසටත්, මෙවර මුද්‍රණය කිරීමට නන් අයුරින් උදව් උපකාර කළා වූ එම පිරිස හා ඔවුන්ගේ දෙමව්පියන් හා පවුලේ සියළු දෙනාටත්, ගුරුවරු නෑදෑ හිත මිතුරන්, මියගිය ඥාතීන් ඇතුළු සියළු දෙනාටත්, මෙම ග්‍රන්ථය කියවා බලා පිංකම්වල යෙදෙන්නා වූ එම පින්වත් පිරිසත්, අපට මෙම දහම් මාර්ගය අවබෝධකර ගැනීමට මූලිකව මහෝපකාරී වූ කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ ද, අපවත් වී වදාළ ගරු රේරුකානේ චන්දවිමල මහා නාහිමියෝ හා ගංගොඩවිල සෝම හිමි ඇතුළු ගරුතර ආර්ය මහා සංඝරත්නයට ද උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට පිළිපන් සිව්වනක් පිරිස හා සියළු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට ද මෙම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදාහැරීමෙන් අත්වන්නා වූ ධර්ම දානමය පුණ්‍ය කර්මය එක සේ අනුමෝදන් වී අති භයංකාර මේ සසර ගමනින් වහ වහා අප සියළු දෙනාට එතෙර වීමට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමටත් මේ සියළු කුසල කර්මයන් හේතු වාසනා වේවා !

 

සාදු ! සාදු !! සාදු !!!

 

 

දිනය -     2556

2012-12-12

 

 

නමෝ බුද්ධාය

 

මෙම ග්‍රන්ථයේ වටිනාකම අවබෝධ කර ගත් අප විසින් මෙම ග්‍රන්ථය නැවත පරිගණකගත කොට පිටපත් දහසක ධර්ම දානම ය පිංකමකට සහභාගි වුනෙමු. මෙම මුද්‍රණයේ දී අප විසින් “අඳුරු විපාක” කොටස ග්‍රන්ථයේ මුලට ගත් අතර “කුසල විපාක” කොටස පසුව දක්වන ලදි. සංසාරය හා මිත්‍යා දෘෂ්ටිය යන පරිච්ජේද මෙම මුද්‍රණයේ දී එක්කල බව ද දන්වමු. මෙම ග්‍රන්ථයේ අන්තර්ජාල සංස්කරණය අප විසින් පවත්වාගෙන යනු ලබන වෙබ්අඩවියට ද ඇතුලත් කරන ලදි. පිං කැමති පිරිස් මෙම ග්‍රන්ථය වඩ වඩාත් ප්‍රචාරය කරත්වා! කුසල ධර්මවලම යෙදෙත්වා!

 


සංසාරය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”

 

ස්කන්ධයන්ගේ ද ධාතූන්ගේ ද ආයතනයන්ගේ ද පරම්පරා වශයෙන් නො සිටී පැවැත්ම සංසාරය යැයි කියනු ලැබේ. සංසාරය කුමක් දැ යි තවත් ක්‍රමයකින් කියතහොත් ජාතියෙන් ජාතිය නැවත නැවත උපදනා සත්වයන් ගේ ජාති පරම්පරාව හෙවත් භව පරම්පරාව සංසාරය යැයි කිව යුතු ය. ලෝකයෙහි අනන්ත සත්වයෝ ඇත්තා හ. ඔවුන්ගේ සංසාරයේ පටන් ගැනීමක් නැත්තේ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “අනමතග්ගොයං භික්ඛවේ සංසාරො පුබ්භාකෝටි න පඤ්ඤායති” යි වදාරන ලද්දේ ය. “මහණෙනි මේ සංසාරය නො දක්නා ලද අගක් ඇත්තේ ය, එහි මුල පටන්ගැනීම නො පෙනෙන්නේය” යනු එහි තේරුම ය. එසේ වදාරන ලදුයේ සංසාරයා ගේ පටන් ගැනීම වූ මුල් කොන තිබියදී ම තථාගතයන් වහන්සේට එය නො පෙනෙන නිසා නොව සංසාරයා ගේ මුල් කොනක් නැති නිසාය. නැති දෙයක් කෙසේ පෙනිය හැකි ද? නො හැකි ම ය.

 

මුල් කොණක් නැත්තා වූ මේ සංසාරය ඉතා දීර්ඝ බැවින් එක් එක් සත්වයෙකු විසින් අතීතයේ නූපන් ජාතියක් නැත. එක සත්වයෙකු එක් එක් ජාතියක උපන් වාරයන් ගේ ප්‍රමාණයක් ද නැත. සංසාරය අති දීර්ඝ බැවින් මේ මහ පොළොවෙ හි එක් එක් සත්වයෙකු විසින් නූපන් තැනක් ද නො සිටි තැනක් ද නොමළ තැනක් ද මළ සිරුර නො දැමූ තැනක් ද නැත.

 

තමා මළ කල්හි, මළ සිරුර දැමීමට අනෙකකු ගේ මළ සිරුරක් නො දැමූ ශුද්ධ ස්ථානයක් වශයෙන් තැනක් නියම කරගෙන සිටියා වූ උපාසාළ්හක නම් බමුණා හට තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. මේ ප්‍රදේශයේ උපාසළ්හක යන නම ඇතියවුන් ගේ මළ සිරුරම තුදුස් දහසක් (14,000) මෙහි දවා තිබේ. ලෝකයේ නො මළ තැනක් නම් නැතය යනු එහි අදහසයි. ඉතා දීර්ඝ වූ මේ සංසාරයෙහි එක් එක් සත්වයෙකු ගේ මව නො වූ සත්වයෙක් ද පියා නො වූ සත්වයෙක් ද සහෝදරයෙකු නො වූ සත්වයෙක් ද සහෝදරියක නො වූ සත්වයෙක් ද පුත් නො වූ සත්වයෙක් ද දූ නො වූ සත්වයෙක් ද සුලභ නො වෙත්, යැයි බුදුන් වහන්සේ වදාළ සේක. තව ද අනවරාග්‍ර සංසාරයෙහි එක් සත්වයෙකු බිව් මව් කිරි ද හැඩූ කඳුලු ද අනුන් විසින් හිස කපනු ලැබීමෙන් ගැලූ ලේ ද යන මේ එක එකක්ම සාගර ජලයට අධික බව තථාගතයන් වහන්සේ වදාළ සේක.

 

තව ද සංසාරය ඉතා දීර්ඝ බැවින් දිළිඳු වූ විරූප වූ කෙනෙකු දුටු කල්හි මම ද මේ දීර්ඝ වූ සංසාරයෙහි මෙසේ විසූයේ මැ යි ද අලංකාරයෙන් සැරසී සිටින සැප ඇති කෙනෙකු දුටු කල්හි මම ද පෙර මෙබඳු සැප ලැබූ වෙමි යි ද නිශ්චයට පැමිණිය යුතු බව ද තථාගතයන් වහන්සේ වදාළ සේක.

 

සසර සැරිසරන්නා වූ සත්වයන් සුගතියෙ හි ද උපදින නමුත් බොහෝ සෙයින් උපදින්නේ දුගතියෙ හි ය. එබැවින් ඔවුනට සතර අපාය සිය නිවෙස බඳු ය. එක් එක් සත්වයෙකු විසින් වර්ෂ සිය ගණනකට වරකදු පිපාසාව සංසිදෙන පමණට පැනක් හා කුසගින්න සංසිදෙන පමණට අහරක් ද නො ලැබ ඉතා දුකසේ කල් යවන, ප්‍රේතව අතීතයෙහි උපන් වාරයන් ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය. භයානක රූප ඇති යම රකුසන් විසින් වෑ පොරෝ වලින් කපමින් යහුල් වලින් අනිමින් ගිනියම් වූ ලෝහ ගුලි ලෝ දිය මුව බහාලමින් අපමණ දුක් දෙන සංජීව ආදී නරකවල උපන් වාරයන් ගේ ප්‍රමාණයක් නැත්තේ ය. නිවනට නො පැමිණ සසර රැදුනහොත් සත්වයාට මතු ද එසේම කටුක දුක් බොහෝ විඳින්නට සිදුවන්නේ ය. කරුණු මෙසේ හෙයින් සසර රැදී සිටීමේ භයානකත්වය නිම කල නො හේ. ඒ බව දත් බුද්ධාදී උත්තමයෝ සංසාර බන්ධනය සිඳ සසරින් එතෙරව නිවන් පුරයට පිවිසුනා ය. දුකින් මිදුණු කැමැත්තෝ ඒ නිවනට පැමිණීමට උත්සහ කරත්වා.

 

සංසාරයේ ආයු කාලය (වේපුල්ල සූත්‍ර‍ය)

මනුෂ්‍යයාගේ ගුණධර්ම පිරිහෙමින් පවතින විට, ආයුෂ අවුරුදු අසංඛ්‍යයේ සිට අවුරුදු 10 දක්වා අඩුවී, ක්‍රමයෙන් ගුණධර්ම වැඩෙන විට නැවතත් ආයුෂ අසංඛ්‍ය දක්වා ම වැඩිවේ. මෙතරම් කාල සීමාවක් අන්තඃකල්පය නමින් හඳුන්වන අතර සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වනුයේ මනුෂ්‍යය ආයුෂ පිරිහෙමින් පවතින අවුරුදු ලක්ෂයත් සියයත් අතර තුළ ය.

 

ජාති, ආඥා සහ විෂය යනුවෙන් බුද්ධ ක්ෂේත්‍ර ප්‍රභේද තුනක් පිළිබඳව විස්තර වේ. බෝධිසත්වයන් මව් කුස පිළිසිඳීම, උත්පත්තිය, බුදුවීම ආදී අසිරිමත් අවස්ථාවලදී කම්පාවීම් සිදුවන දස දහසක් සක්වළ “ජාති ක්ෂේත්‍රයට” අයත් වේ. සම්බුදුවරයෙකු ආඥා ක්ෂේත්‍රය” නම් කෝටි ලක්ෂයක් සක්වළ ප්‍රදේශය යි. රතන, ඛන්ධ, ආටානාටිය හා ධජග්ග ආදී පිරිත් දේශනාවන් ගේ ආනුභාවය මෙම කෝටි ලක්ෂයක් සක්වළ පුරා පැතිර පවති. ඉරෙ හි, සඳෙ හි එළිය පැතිරෙන සීමාවට අයත් අසීමිත ප්‍රදේශයකට සක්වළක් යැ යි කියනු ලැබේ. භූමි තල 31 ක් පිළිබඳ බුදුදහමේ සඳහන් වන අතර අප ජීවත් වන මනුෂ්‍යය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර හා නිරය මෙන්ම දිව්‍ය ලෝක 06, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ද එක ම ලෝක ධාතුවක් තුළ පවතී.

 

අන්තඃකල්පයක් විනාශය වන ක්‍රම තුනකි. ඒවා නම් අවි ආයුධවලින්, දුර්භීක්ෂයෙන් සහ වසංගත රෝග මගිනි. මේ අප ගතකරන්නේ මහා කල්පයේ සිව්වන අන්තඃකල්පය වන අතර තවත් අන්තඃකල්ප 60 ක් ගතවීමෙන් පසුව මහා කල්ප විනාශය සිදුවේ. මෛත්‍රී බුදුන් මතු පහළ වන්නේ පස්වන අන්තඃකල්පයේදී මිනිස් ආයුෂ අවුරුදු අසූදහසක් වන විට දී ය.

 

දිව්‍ය භූමි 06

එක් දිනයක මනුෂ්‍යය වසර

පරමායුෂ දෙව්ලොව වසර

පරමායුෂ මනුෂ්‍යය වසර

චාතුර්මහාරාජිකය

50

500

අනූ ලක්ෂයකි

තාවතිංසය

100

1000

තුන්කෝටි හැට ලක්ෂයකි

යාමය

200

2000

දාහතර කෝටි හත් ලක්ෂයකි

තුසිතය

400

4000

පනස් හත් කෝටි හැට ලක්ෂයකි

නිම්මාණරතිය

800

8000

දෙසිය තිස් කෝටි හත් ලක්ෂයකි

පරනිම්මිත වසවර්තිය

1600

16000

නවසිය විසි එක්කෝටි හැට ලක්ෂයකි

     

අන්තඃකල්ප 64 = අසංඛ්‍ය කල්ප 01 අසංඛ්‍ය කල්ප 04 = මහා කල්පය 01

 

ඉතාමත් බලවත් කුසල කර්මයකින් ධ්‍යාන භූමින් හි (බ්‍රහ්ම ලෝක) උපත ලැබීම සිදුවන නිසා මෙම භූමින් හි ආයු ප්‍රමාණය දක්වා ඇත්තේ කල්ප වලිනි.

 

 

ප්‍රථම ධ්‍යාන භූමි 03

1.  බ්‍රහ්මපාරිසජ්ජය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/3 කි

2.  බ්‍රහ්මපුරෝහිතය      ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/2 කි

3.  මහාබ්‍රහ්මය     ආයු කාලය අසංඛ්‍ය කල්පයකි

 

ද්විතිය ධ්‍යාන භූමි 03

1.  පරිත්තාභ       ආයු කාලය මහා කල්ප 02

2.  අප්පමාණාභ     ආයු කාලය මහා කල්ප 04

3.  ආභස්සරය      ආයු කාලය මහා කල්ප 08

 

තෘතිය ධ්‍යාන භූමි 03

1.  පරිත්තසුභ      ආයු කාලය මහා කල්ප 16

2.  අප්පමාණසුභ    ආයු කාලය මහා කල්ප 32

3.  සුභකිණ්හ       ආයු කාලය මහා කල්ප 64

 

චතුර්ථ ධ්‍යාන භූමි 02

1.  වෙහප්ඵලය     ආයු කාලය මහා කල්ප 500

2.  අසඤ්ඤසත්වය ආයු කාලය මහා කල්ප 500

 

සුද්ධාවාස භූමි 05

1.  අවිහ            ආයු කාලය මහා කල්ප 1000

2.  අතප්ප          ආයු කාලය මහා කල්ප 2000

3.  සුදස්ස           ආයු කාලය මහා කල්ප 4000

4.  සුදස්සී           ආයු කාලය මහා කල්ප 8000

5.  අකනිට්ඨ        ආයු කාලය මහා කල්ප 16000

 

අරූපාවචර භූමි 04

1.  ආකාසානඤ්චායතනය   ආයු කාලය මහා කල්ප 20000

2.  විඤ්ඤාණඤ්චායතනය   ආයු කාලය මහා කල්ප 40000

3.  ආකිඤ්චඤ්ඤායතනය    ආයු කාලය මහා කල්ප 60000

4.  නේවසඤ්ඤානාසඤ්ඤායතනය     ආයු කාලය මහා කල්ප 84000

 

කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද ?

සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තයේ “සාස්‍ය සූත්‍රයෙන්” කල්පය පිළිබඳව උපමාවක් ඇසුරෙන් බුදුරදුන් පැහැදිලි කර දී තිබෙනවා. දිනක් එක්තරා භික්ෂුවක් විසින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කල්පය යනු සංඛ්‍යාත්මකව දැක්විය නො හැකි දෙයක් නම්, එය උපමාවක් මගින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එවිට අප ගෞතම බුදුරදුන් මෙලෙස පැහැදිලි කිරීමක් කළ සේක.

 

මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්‍රාකාරයකින් (තාප්පයකින්) වට වූ නගරයක (භූමියක) සම්පූර්ණයෙන් ම අබ ඇට පුරවා (අතුරා) කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක් ”. තව ද, අනමතග්ග සංයුක්තයේ “පබ්බත සූත්‍රයෙහි” එන කසීසළු හෙවත් පර්වත කල්ප උපමාවෙන් ද ගෞතම බුදුරදුන් කල්පය යනු කොතරම් දීර්ඝ කාල පරාසයක් ද, යන්න පිළිබඳව මෙබඳු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

 

මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (නූතන සැතපුම් දහසයක්) බැගින් එක සමාන වූ ඒක ඝන (මැද හිස් නැති) මහා කළුගල් පර්වතයක් වේ ද, එම කළුගල් පර්වතය (දේවතාවෙකු හෝ අසලින් යන කෙනෙකු) අවුරුදු සියයකට වතාවක් ඉතා සිනිදු කසී (සේද) සළුවකින් පිරිමැදීම (පිස දැමීම) නිසා ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නො වේ”.

 

සංයුක්ත නිකායේ, අනමතග්ග සූත්‍රයේම තවත් සූත්‍ර දේශනාවකින් කල්පවල කාලය ගතවීම වගේ ම අපේ භවයේ (සසර) දිගු බව ගැනත් විස්තර කර තිබේ. දවසක් එක්තරා බමුණෙකු බුදු හිමියන් සමීපයට පැමිණ “ලෝකයේ කාලය දැනට කොතෙක් ඉක්මවා ගොස් තිබේ ද? ඒ වගේ ම දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කොපමණ ද?” යනුවෙන් විමසා සිටියා. එවිට බුදුරදුන් විසින් ඔහුට මෙසේ පිළිතුරු දෙනු ලැබුවා.

 

බ්‍රාහ්මණය, මෙතෙක් ඉක්ම ගොස් ඇති කල්ප ඉතා බොහෝ ය. ඒවා සිය ගණනක් ය, දහස් ගණනක් ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණයෙන් දැක්විය නො හැකි තරම් ය. බ්‍රාහ්මණ ය, මේ ගංඟා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලු ම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නො හැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නො හැකි වේ”.

 

ප්‍රඥාධික බුදු කෙනෙකු වූ අප ගෞතම බුදුරදුන් සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා පෙරුම්දම් (පාරමී) සම්පූර්ණ කළා. මෙයටත් පෙර මහා බෝසතාණන් විසින් දීපංකර බුදුන් ඉදිරියේ නියත විවරණ ලැබීමට පෙර මනෝ ප්‍රණිදානය සහ වාක් ප්‍රණිදානය ලෙස දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් අනියත විවරණ, සම්මා සම්බුදුවරු 512,000 ක් හමුවේ පුරනු ලැබුවා. මේ අනුව ගෞතම බුදුරජුන් ගේ මුළු පාරමී කාලය විසි අසංඛ්‍යකුත් කල්ප ලක්ෂයක් වන අතර එම කාලය තුල හමු වූ සම්මා සම්බුදුවරු ගණන 512,027 නමක් වන බව දත යුතූ ය.

 

අනාගතයේ වීර්‍ය්‍යාධික බුදු කෙනෙකු ලෙස, මතු බුදුවන මෛත්‍රීය බෝසතුන් සොළසාසංඛ්‍යය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී දම් පුරා සිටිනවා.

 

පාරමිතා පිළිබඳ දැන ගැනීමට කැමති පින්වතුන් රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ගේ පාරමිතා ප්‍රකරණය පොත බලත්වා


මිථ්‍යා දෘෂ්ටිය

 

මරණින් පසු නැවත උපතක් නැත, පින් පව් කියා දෙයක් නැත, පින් වලවත් පව් වලවත් විපාකයන් සිදුවෙන්නේ නැත, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක නැත, නිවන කියා දෙයක් තිබිය නො හැක යනාදී ආකාරයෙන් වරදවා දැකීම නැතහොත් වරදවා පිළිගැනීම මිථ්‍යා දෘෂ්ටිය ලෙස හඳුන්වනවා.

 

·      ගන්නා වූ ආකාරය වැරදි වීම.

·      එයම සත්‍යය යි තීරණය කර ගැනීම.

 

යන කරුණු දෙකෙන් මෙම අකුසලය සිදුවේ. දස අකුසල කර්මයන්ගෙන් බලවත් ම අකුසල කර්මය වනුයේ මිත්‍ය දෘෂ්ටිය වන අතර සෙසු සියළු අකුසල් මේ නිසා සිදු වේ. මිථ්‍යා දෘෂ්ටි බොහෝ සංඛ්‍යාවක් පැවතුණ ද ඒවායින් බරපතල ම අකුසල් සිදුවෙන්නේ නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය සහ අක්‍රිය දෘෂ්ටිය යන තුනෙන් ය.

 

නාස්තික දෘෂ්ටිය

දන් දීමෙන් ප්‍රයෝජනයක් නැත, පූජා කිරීමෙන් ඵලක් නැත, පුද පඬුරු යැවීමෙන් ඵලක් නැත, පින්පව් වල ඵල විපාක නැත, පරලොව ඉන්නවුන් මෙලොව ඉපදෙන්නේ නැත, මෙලොව ඉන්නවුන් පරලොව යන්නේ නැත, මවට කරන හොඳ නරක වල විපාක නැත, පියාට කරන හොඳ නරක වල විපාක නැත, මරණින් පසුව නැවත ඉපදෙන සත්වයෙක් නැත, ලෝකයේ මෙලොව පරලොව යම් කිසි ප්‍රතිපත්තියක් තමා විසින්ම ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැතහොත් සම්මා සම්බුදු කෙනෙක් පහල වන්නේ නැත, මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙලා තිබෙන බැවිනුත් සත්වයා මැරුණ විට ශරීරය සතර මහා භූතයන්ට ම එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන කොටස් වලට ම එකතු වෙනවා, ඉන්ද්‍රියන් අහසට යනවා. අසවලා දායකයෙක්, අසවලා මසුරෙක්, දුශ්ශීලයෙක් යනුවෙන් තිබෙන ගුණයන් මරණින් පසුව නො පෙනීයනවා. ඇට පරවි පියාපත් පැහැ වෙනවා. දාන පූජා ආදිය අළුවීම කෙලවර කොට පවතිනවා. දානය මෝඩයන් විසින් පවසන ලද්දක්. යමෙක් දානයෙන් ප්‍රතිඵලයක් තියනවා කියලා පවසනවා නම් ඒ කීම හිස් දෙයක්, බොරුවක්, නන් දෙඩවිල්ලක්.පණ්ඩිත, අපණ්ඩිත සියලු දෙනා මරණින් පස්සෙ විනාශ වෙලා යනවා. නැවත ඉපදීමක් නැත. මෙය අජිත නම් වූ තැනැත්තා ගේ මිථ්‍යා දෘෂ්ටිය යි.

අහේතුක දෘෂ්ටිය

සත්වයන් ගේ කෙලෙස් ඇති වීමට හේතුවක් හෝ ප්‍රත්‍යයක් හෝ නැත. හේතුවක් ප්‍රත්‍යයක් නැතුවම සත්වයෝ කෙලසෙනවා. සත්වයන්ගේ විශුද්ධියට (කෙලෙස් නැතිවීමට) හේතුවක් නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ ශුද්ධියට පත්වෙනවා. සත්වයින්ට ඒ ඒ කුඩා, විශාල වූ ජාතීන් වල ඉපදී සැප දුක් ලබන්නට නියම වූ එක්තරා ක්‍රමයක් තියනවා. ඒ ක්‍රමයට අනුව මෝඩයොයි, පණ්ඩිතයොයි යන හැම දෙනා ම ඒ ඒ ජාතිවල ඉපදිලා සැප දුක ලබන්නෙ. දාන, සීල, භාවනා වැනි පින්වල බලයෙන් හෝ තපස් රැකීමෙන් ඇති කරගන්නා බලයකින් කලින් කියපු ක්‍රමය ඉක්මවලා දිව්‍ය ලෝක වගේ තැන්වල ඉපදිලා විශේෂ සැපයක් ලබන්න නො හැකියි. මොනවා කලත් නියම කාලය එනතෙක් දුක් කෙළවර කොට පරම සැපයකට එන්න කාටවත් නො හැකි ය. පින් කරන නො කරන පණ්ඩිත, අපණ්ඩිත සියලු දෙනා කල්ප සුවාසු දහසක් සසරේ සැරිසරා අන්තිමට දුක කෙළවර කිරීම සිදු කරනවා. මෙය මක්ඛලී ගෝසාල කියන තීර්ථකයා ගේ මිත්‍යා දෘෂ්ටිය යි.

අක්‍රිය දෘෂ්ටිය

තමන් විසින් ම පව් කරන්නවුන්ටත්, අනුන් ලවා පව් කරවන්නවුන්ටත්, අනුන් ගේ අත පය ආදිය කපා කොටා දාන පුද්ගලයින්ටත්, එසේ කිරීමට නියම කරන්නවුන්ටත්, දඬු මුගුරු ආදියෙන් අනුන්ට පහර දෙන හා පහර දීමට නියම කරන පුද්ගලයින්ටත්, වස්තු පැහැර ගැනීම් ආදියෙන් අනුන් පීඩාවට ශෝකයට පත් කරන පුද්ගලයින්ටත්, ආහාර නො දීම, සිරකර තැබීම් ආදියෙන් අන්‍යන්ව පීඩාවට පත් කරමින් තමා ද පීඩාවට ලක්වෙමින් සිටින තැනැත්තාත්, ප්‍රාණඝාත කරන, සොරකම් කරන, පරදාර සේවනයේ යෙදෙන, බොරු කියන යනාදී ලෙස ඕනෑකමින් ම පව් කරන පුද්ගලයින්ටත් සිදුවන අකුසලයක් නැත. පොළොවෙහි ඇතිතාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන තැනැත්තාටත් එයින් සිදුවන අකුසලයක් නැත. දන් දීමෙන්, සිල් රැකීමෙන්, සත්‍යයෙහි පිහිටීමෙන්, ඉන්ද්‍රිය දමනයෙන් තපස් රැකීමෙන් සිදුවන කුසලයක් නැත. මෙය පූර්ණ කාශ්‍යපගේ මිත්‍යා දෘෂ්ටිය යි.

මිථ්‍යා දෘෂ්ටියේ ඵල විපාකයන්

මහණෙනි, මේ මිථ්‍යා දෘෂ්ටිය යම් ආකාරයක් වෙත් ද එසේ මහා සාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතා ඥාණයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලට ම මහත් වරද වේ” යනුවෙන් බුදුන් වහන්සේ වදාළ සේක.

 

මෙය දේශනා කර තිබෙන්නෙ කර්ම, කර්ම ඵල ප්‍රතික්ෂේප කරන නාස්තික, අහේතුක, අක්‍රිය යන දෘෂ්ටි වලට ය. එම දෘෂ්ටි අතුරින් කුමන දෘෂ්ටියක් ගත් අයෙකු වුවත් එය අත් නො හැරියේ නම් මරණින් පසුව සුගතියකට යෑමක් සිදු නො වේ. නිවන් අවබෝධ කිරීමක් සිදු නො වේ. ඒ දෘෂ්ටි සත්වයාගේ ස්වර්ග මෝක්ෂ දෙක ආවරණය කර තිබේ. ඒ දෘෂ්ටි ගත්තවුන් මරණය දක්වා ම එය අත් නො හැරියේ නම් ඒකාන්තයෙන් ම ඉපදීම සිදුවන්නේ නරකයෙ. එම නිසා මෙය නියත මිථ්‍යා දෘෂ්ටිය ලෙස හදුන්වනු ලබනවා. මිථ්‍යා දෘෂ්ටිකයෙකු එම දෘෂ්ටිය නිසා නොයෙක් අකුසල් කිරීමට යොමු වේ. ඒවා ද එකතු වී මිථ්‍යා දෘෂ්ටිය විපාක දීමේ දී ආනන්තරීය කර්ම වලටත් වඩා බලවත් ලෙස විපාක විඳීමට සිදු වේ. ආනන්තරීය කර්ම කළවුන් කල්ප අවසානයේ දී නරකයෙන් මිදෙන නමුදු නියත මිත්‍යා දෘෂ්ටිය ගත්තවුන් ලෝකය විනාශය සිදුවන අවස්ථාවේදී වෙනත් ලෝකයක නරකයක ඉපිද දුක් විපාක විඳීමට සිදු වේ. එමෙන්ම එසේ සිදුවන විපාකවල අවසානය පිළිබඳ නිශ්චිතව කිව නො හැකි ය.

 

බොහෝ අය මිථ්‍යා දෘෂ්ටික වීමට හේතුව එවැනි අය ඇසුරු කිරීමයි. එසේ මිසදිටු අය තමන්ගේ දෘෂ්ටිය අන්‍යන්ට රසවත් කොට පෙන්වා දී මෝඩ අයව ඒ දෘෂ්ටියට යොමු කරවා ගන්නවා. සම්‍යක් දෘෂ්ටිය ඇති අයෙකු මිථ්‍ය දෘෂ්ටිකයකු කිරීම තරම් විශාල අකුසල් සිදුවන ක්‍රියාවක් තවත් නැත. ධර්මයෙන් ඈත්ව වාසය කරන පුද්ගලයින් මෙවැනි අය ගේ උගුල්වලට පහසුවෙන් අසු වේ. එයට හේතුව ධර්මය නො දැනීම ම යි. කැරුණු කාරණා ධර්මානුකූලව නොබැලීම, මිසදිටු අයගේ දේශන වලට සවන් දීමෙන් ඔවුන්ගේ පොත්පත්, විද්‍යුත් සටහන් කියවීමෙන් නුවණ මඳ කෙනා මුලාවට පත්වෙලා මිථ්‍යා දෘෂ්ටිකයෙක් වී අකුසල් සිද්ධ කර ගන්නවා.

ශ්‍ර‍ද්ධාව ඇතිකර ගැනීමට නම්

ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රධාන ඉගැන්වීමක්. අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි අමූලිකා ශ්‍රද්ධාව. අනෙක තමයි ආකාරවතී ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධා කියන්නේ විමසන්නේ නැතුව, හොයන්නේ බලන්නේ නැතුව, අධ්‍යයනය කරන්නේ නැතුව යමක් විශ්වාස කිරීම. ඒ විශ්වාස කරන එකට පදනමක්, මුලක් නෑ. ඒ නිසා ඒකට අමූලිකා ශ්‍රද්ධා කියලා කියනවා. මේ අමූලිකා ශ්‍රද්ධාව කෙනෙක් දියුණුවක් කරා ගෙන යන එකක් නෙවෙයි. අමූලිකා ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ලක්ෂණය තමයි, එයා කෙනෙක් ගැන පහදිනවා. ටික කාලයක් යනකොට ඒ පැහැදීම නැතිවෙලා වෙන කෙනෙක් ගැන පහදිනවා. තව ටික කාලයක් යනකොට ඒ පැහැදීමත් නැති වෙලා ඊළඟ කෙනා ගැන පහදිනවා. සමහර විට ඒ පැහැදීම පෞද්ගලික වාසි තකා වුණත් කෙරෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ අමූලිකා ශ්‍රද්ධාව අගය කළේ නෑ. උන්වහන්සේ අගය කළේ ආකාරවතී ශ්‍රද්ධාව යි.

 

ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු ගේ යම්කිසි තේරුම් ගත් වටහා ගැනීමක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ආකාරවතී ශ්‍රද්ධාවට එන්න කියලයි. ආකාරවතී ශ්‍රද්ධාවට පැමිණි කෙනා තුළ තියෙන විශේෂ ලක්ෂණය තමයි (සද්ධාති තථාගතස්ස බෝධිං) එයා අදහන්නෙ තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය යි. මේ ලෝකයේ පුද්ගලයන් එක එක දේවල් විශ්වාස කරනවා. එක එක දේවල් අදහනවා. නමුත් ඒ අදහන බොහෝ දේවල් වලට පදනමක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පදනම් වෙලා තියෙන්නේ උන්වහන්සේ ගේ අවබෝධයෙන් ය. ඒ අවබෝධය නැමති පදනම තුළ හිඳගෙනයි, උන්වහන්සේ ධර්ම දේශනා කළේ. ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළා ද, ඒක අවබෝධයෙන්ම යි දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ අවබෝධය හරි කියලා අප තුළ ඇතිවෙන පැහැදීමටයි. ඒ අදහසට ආවාහම ඒ ඔස්සේ තමයි ඊට පස්සේ එයා කල්පනා කරන්නේ.

 

සාමාන්‍ය මනුෂ්‍යයාට හිතන්න වත් බැරි, සාමාන්‍ය මනුෂ්‍යයන්ට නො තේරෙන, වටහා ගන්න බැරි මාතෘකා උන්වහන්සේ කතා කරලා තියෙනවා. විශ්වය ගැන, ලෝක ගැන, බුදුරජාණන් වහන්සේ සතු වූයේ අසමසම අවබෝධයක්. උන්වහන්සේ සමහර අවස්ථාවල “මහණෙනි මෙන්න මෙහෙමයි නිරය..” කියලා නිරය ගැන විස්තර කරනවා. විස්තර කරලා මහණෙනි, මේ දේවල් ශ්‍රද්ධාවට පැමිණි ශ්‍රාවකයා පිළිගන්නවා” කියලා දේශනා කරනවා. එතකොට ශ්‍රද්ධාව කියලා අදහස් කළේ භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ අවබෝධය විශ්වාස කිරීමයි. බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය විශ්වාස කරන්නේ නැති අය තමයි දිව්‍ය ලෝකයි, නිරයයි ඔක්කොම තියෙන්නේ මෙහේ කියලා කියන්නේ. ඒ අය මේ මනුෂ්‍ය ලෝකයෙ සැප විඳින මිනිස්සු දෙස බලලා “ඔන්න දිව්‍ය ලෝකය..” කියලා කියනවා. දුක් විඳින අය දිහා බලලා “ඔන්න අපාය..” කියලා කියනවා. මේ විදිහට තමන්ගේ පෞද්ගලික මත විග්‍රහ කර කරා ප්‍රමාදී වෙනවා. ඒ කෙනා අමූලිකා ශ්‍රද්ධා මුලක් නැති ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක්. මේ නිසා අපට ආකාරවතී ශ්‍රද්ධාව උපදවා ගැනීම හරි වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ කතාවක් තියෙනවානේ ප්‍රඥාව නැතුව ශ්‍රද්ධාව තිබුණොත් ඒ ශ්‍රද්ධාව මෝඩකමක් කියලා. එතැන මෝඩකම කියලා කියන්නේ ඔය අමූලිකා ශ්‍රද්ධාවට.

 

ශ්‍රද්ධාව වඩවා ගැනීම සඳහා කැමති පින්වතුන් රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ සූවිසි මහා ගුණය පොත බලත්වා

 

සතර අචින්ත්‍ය ධර්ම

මිනිස් චින්තන පථයට ගෝචර නො වන්නා වූ ද, එබැවින්ම මිනිසා විසින් මෙනෙහි නො කළ යුතු වූ ද, මෙනෙහි කරනු ලැබුව හොත් බුද්ධිය අවුල්වන්නා වූ ද, එමඟින් ම ඒ තැනැත්තා ගේ පෞරුෂත්වයට හානි කරවන්නා වූ ද කරුණු සතරක් වේ යැ යි බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායෙහි දී වදාරනු ලැබ ඇත. මේ කරුණු සතර නම් බුද්ධ විෂය, ධ්‍යානයට සමවැදුණු උතුමෙකු පිළිබඳව පවත්නා ධ්‍යාන විෂය, කම්ම විෂය, හා ලෝක විෂය ද වේ. මිනිස් සන්තානයට මෙකරුණූ ගෝචර නො වේ යැයි පැවසීමෙන් අදහස් කෙරෙනුයේ සීමිත වූ බුද්ධි ප්‍රමාණයකට අයිතිවාසිකම් ඇති සාමාන්‍ය ලෝකයා මේ පිළිබඳව මෙනෙහි කිරීමෙ හි අසමත් වන බව යි. මේවා ඔවුන්ගේ ප්‍රඥා මහිමය ඉක්මවා පවත්නේ ය. ඊනියා වටිනාකමක් ආරූඪ කරනු ලබන නිපුණ මහා ප්‍රාඥයින්ට පවා සම්මා සම්බුදු කෙනෙකුන් ගේ ආධ්‍යාත්මික තත්ත්වය පිළිබඳව පවත්නා අසීමිත ගම්භීරත්වයේ මහිමය ද ධ්‍යාන සුවයෙහිලා ඇති ප්‍රමෝදය ද කර්ම නියාමය පිළිබඳව පවත්නා සූක්ෂම ක්‍රියාකාරිත්වය ද , තාරකා මණ්ඩලය හා නිහීරීකාවන්ගෙන් සැදුම් ලත් අප්‍රමාණ සක්වළ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ද ලබාගත නොහේ.

 

කර්මය

 

කම්මස්සකෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ, යං කම්මං කරිස්සාමි කල්‍යානං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසේන වා ගහට්ඨේන වා පබ්බජිතේන වා ති”

(අභිණ්හපව්ව වෙක්ඛන සූත්‍රය)

 

අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යෙය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ ම නමස්කාරය වේවා. පින්වතුනි! මේ මාතෘකා කළේ අභිණ්හ පච්චවෙක්ඛන සූත්‍රයේ එන සූත්‍ර පාඨයකි. ඒ නිවන් රසයෙන් රසවත් වූ ධර්ම පාඨයට අනුව සියලු සත්වයෝ ම කර්මය ස්වකීය කොට ඇත්තෝ ය. කර්මය දායාද කොට ඇත්තෝ ය. කර්මය සැප දුක් වේදනා ගෙනදෙන මූල හේතුව කොට ඇත්තෝ ය. එසේම කර්මය ඥාතිකොට ඇත්තෝ ය. කර්මය පිහිට පිළිසරණ කොට ඇත්තෝ ය. ඉදින් යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරන්නේ නම් ඔහු විසින් ඒ කලා වූ කර්මයා ගේ විපාකද ඔහුට ම දායාද වන්නේ ය යන ආත්මෝපදේශාත්මක නිර්වාණ ධර්මය කාන්තාවක් විසින් හෝ පුරුෂයෙකු විසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ නිරන්තරයෙන් සිහිකල යුතු යැ යි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරන්නට යෙදුනා හ.

 

මේ අනුව අප බැලිය යුතු අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් වේ.

 

o   කර්මය යනු කුමක් ද?

o   යහපත් අයහපත් කර්ම මොනවා ද?

o   එම කර්මයෝ අපට දායාද වන්නේ කෙසේ ද? කියා ය.

කර්මය යනු කුමක් ද?

සම්බුදු දහමේ කර්මය යනු චේතනාව වේ. ඒ බව මෙසේ දැක්වේ. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මහණෙනි මම චේතනාව කර්මය යැ යි වදාරමි කියා ය. මේ අනුව සිතන චේතනාව අනුව සිදුකරන කර්මය ද යහපත් හෝ අයහපත් විය හැකි ය. ඒ අනුව ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දස කුසල ධර්ම, දස පාරමී ධර්ම, සමසතලිස් කර්මස්ථාන ආදී පින් කටයුතු යහපත් කර්ම ගණයට ද, පස්පව්, දස අකුසල්, අධර්ම වෙළදාම් ආදිය අයහපත් කර්ම සංඛ්‍යාවට ද වැටෙනු ලැබේ. එසේ ම යහපත් කර්ම හේතුවෙන් සැප දායක සැනසුම් ඵලවන යහපත් විපාක ද, අයහපත් කර්ම හේතුවෙන් දෙනෙත් කඳුලින් තෙත් කරවන දුක් විපාක ද ගෙන දෙනු ලැබේ. යහපත් කර්ම වලට ගෙන දෙන සැප විපාක ආනිසංස නමින් ද දක්වා ඇත. යහපත් කර්මයන් ගේ දායාදය ද එය ම වේ. කුසල අකුසල කර්ම වලට විපාක ගෙන දෙන අවස්ථා හතරක් ධර්මයෙ හි සදහන් වේ.

 

(1) දිට්ඨධම්මවේදනීය

(2) උපපජ්ජවේදනීය

(3) අපරාපරියවේදනීය

(4) අහෝසි කර්ම කියා ය,

 

තමන් කරන හොඳ හෝ නරක කර්ම වල කොටසකට මෙලොව විපාක ලැබේ. (එම අවස්ථාවේ පහළ වූ චිත්ත වීථියෙහි පළමු ජවනයේ ශක්තියෙනි) නිදර්ශන ලෙස පුණ්ණ නම් දුගියා, චිංචිමානවිකාව, සුප්පබුද්ධ රජු ආදි අය දැක්විය හැක. මේවා දිට්ඨධම්මවේදනීය විපාක යැයි කෙටියෙන් දත යුතු ය.

 

එසේම අප කරන කුසල අකුසල කර්ම වලට මතු ජීවිතයේ කොටසක් විපාක දෙනු ලැබේ. (එහි පහළ වූ චිත්ත වීථියෙහි සත්වන ජවනයාගේ ශක්තියෙනි) මේවා උපපජ්ජවේදනීය කර්ම යැ යි කියනු ලැබේ. නිදර්ශන ලෙස දෙව්දත් තෙරුන් අපාගත වීම, සැරියුත් මහ රහතන් වහන්සේට පහරදුන් නන්ද යක්ෂයා ගේ අපාගත විම, මහා ගුණැති උප්පලවන්නා මෙහෙණිය දූෂණය කළ නන්ද මානවකයා අපාගත වීම, ඉන්දික දුගියා අනුරුද්ධ මහ රහතන් වහන්සේට එක් දන් හැන්දක් දී දෙව්ලොව ඉපදීම, බණ අසමින් සිටි මැඬියා දෙව්ලොව ඉපදීම ආදිය දැක්විය හැකි ය.

 

අපරාපරියවේදනීය නම් මේ ජීවිතය ද මතු මීළග ජීවිතය ද හැරුනු කළ දිගු සසර දී විපාක දෙන කර්ම වේ. (එම අවස්ථාවේ පහළ වූ චිත්ත විථියේ ජවන සතින් මැද ජවන පහ වේ. එනම් 2, 3, 4, 5, 6 යන ජවන පහ වේ.) නිදර්ශන ලෙස චක්ඛුපාල හිමි ගේ දෙනෙත් අන්ධ වීම, මුගලන් මහ රහතන් වහන්සේට සොරුන් පහර දීම, අපුත්තක සිටුවරයාට ධනය ලැබීම, උප්පලවන්නා රහත් මෙහෙණියට විශිෂ්ඨ රූ සම්පත් ලැබීම දැක්විය හැක.

 

මෙලොව විපාක දිය යුතු කොටස මෙලොව විපාක දෙන්නට අවස්ථාවක් නො ලැබුණොත් මතු විපාක නො දෙනු ලැබේ. ඒ විපාක කොටස අහෝසි වී යයි. පරලොව දිය යුතු විපාක එසේ දීමට අවස්ථාවක් නො පැමිණිය හොත් අහෝසි වී යයි. උදාරහණයක් ලෙස දෙව්දත් තෙර අවුරුදු 36 ක් හොඳින් පැවිදි දිවිය ගත කර ඇත. ඒ අනුව එම හොඳ කර්මයන් ගේ හොඳ විපාක කොටසක් මතු දිවියේ ලැබිය යුතුව ඇත. නමුත් ඔහු අපාගත වූ බැවින් ඒ හොඳ සැප විපාක ඒ ස්ථානයේ නො දිය හැකි බැවින් එය මතු ජීවිතයට ලැබීමට තිබු සැප විපාක කොටස ද අහෝසි වී යනු ලැබේ. නමුදු පිරූ මහණදම අපතේ නො යන්නේ ය. මතු එම කුසල බලය අපරාපරියවේදනීය ලෙස මතු වී සට්ඨිස්සර නමින් පසේබුදු බව ලබන්නේ වේ. යමෙක් බුදු, පසේබුදු, මහරහත් යන තත්වයකට පත් වුවහොත් සියලු කර්ම ඉන් එහා දිවියකදී විපාක දීම නැතිවන්නේ ය. උදාහරණ ලෙස අංගුලිමාල මහ රහතන් වහන්සේ දැක්විය හැක.

 

අභිධර්මය පිළිබද කරුණු දැන ගැනීමට කැමති පින්වතුන් අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ අභිධර්මයේ මූලික කරුණු,

අභිධර්ම මාර්ගය යන පොත් බලත්වා.

 

අඳුරු විපාක

පින්වතුනි, අපි විස්තර කරන්න යන්නේ, සිත දූෂිත කරගෙන සිදු කරනු ලබන කුඩා අකුසලයෙන් නමුදු ගෙන දෙන විපාකයන් අතිශයින් ඝෝර වූ කටුක වූ අමිහිරි වූ දුක් විපාකයන් බව ය. වැරදි කරන අය මැරී ගොස් උපදින දුක් වැඩිම සැප අඩුම තැන සතර අපාය ලෙස හඳුන්වයි. නරකය, තිරිසන් යෝනිය, අසුර නිකාය, ප්‍රේත ලෝකය අපාය භූමි සතර වේ.

 

නරකය

අප මේ සංසාරයේ දී සතර අපාවලට වැටී විඳි දුක් ප්‍රමාණය සිතා නිම කිරීමටවත් නො හැකි තරම් ය. කෙනෙකු කොහේ ගියත් තමන් ගේ ම නිවසට ම ආපසු එන්නාක් මෙන්, තමන් ගේ ම නිවසේ ම නිතර වාසය කරන්නාක් මෙන්, ලෝක සත්වයා නිතරම යන්නේ අපායට ම ය. අපාය ලෝක සත්වයාගේ නිවහන බඳු ය. සත්වයා ඒ අපාවල විඳි දුක් අනන්ත අප්‍රමාණ වේ. වරක් අපායට වැටුණොත් ගොඩ එන්නේ බොහෝ කාලයකට පසුව ය. පළමුවෙන්ම ඇති සංජීව නරකයේ මිනිස් ලොව අවුරුදු නව ලක්ෂයක් එහි එක් දවසකි. එවැනි දින 30ක් මාසයකි. එවැනි මාස 12ක් අවුරුද්දකි. ඒ අනුව මිනිස් ලොව අවුරුදු ලක්ෂයේ ඒවා 3240 ක් සංජීව නරකයේ අවුරුද්දකි. එවැනි අවුරුදු 500 ක් එහි ආයු කාලය වේ. මේ මිනිස් ලොව අවුරුදු වලින් කියනවා නම් එහි ආයුෂ අවුරුදු ලක්ෂයේ ඒවා 1,620,000 කි. (900,000x30x12x500).

 

සංජීව නරකයට යටින් ඇති නරකවල ආයු කාලය ඊටත් වඩා එන්න එන්න ම වැඩිවේ. දෙවැනි කාලසූත්‍ර නරකයේ මෙහි අවුරුදු තිස්හය ලක්ෂයක් එහි එක දවසකි. එවැනි අවුරුදු 1000ක් එහි ආයුෂ කාලය වේ. මෙසේ ක්‍රමයෙන් යට යට ඇති නරකවල ආයු කාලය වැඩි වේ. අවීචියේ ආයුෂය කල්පයකි. එහි ආයු කාලය මෙහි අවුරුදුවලින් දැක්වීමට නො හැකි ය. යොදුන් 84,000ක් දිග, පළල, උස ඇති මහාමේරු පර්වතය දිනකට එක්වර බැගින් රෙදි කඩකින් පිස දමමින් ගිය විට මහාමේරු පර්වතය ගෙවී ගියත්, අවීචියේ ඇති ආයු කාලය ගෙවෙන්නේ නැත. මේ තරම් අති දීර්ඝ කාලයක් අපායේ වැටී අපායේ ගිනිවලින් දැවෙමින්, ලෝහ ගුලි ගිලිමින් විඳීමට සිදුවන, දුක් හා වෙනත් කිව නො හැකි තරම් වූ අපා දුක් වලින් මුදාලන ප්‍රතිපත්ති මාර්ගයක් දේශනා කළ ඒ බුදුපියාණන් වහන්සේට එම ප්‍රතිපත්ති පූරණය කරමින් ප්‍රතිපත්ති පූජාවෙන් කොතෙක් නම් පූජා කළ යුතු වන්නේ ද? ප්‍රධාන නිරයන් 08 ක් තිබෙන අතර එම සෑම නිරයකටම ඔසුපත් නිරයන් 16 බැගින් ඇත. එවිට මුළු නිරයන් ගණන 136කි. කූඩා නරකයෝ සතර වර්ගයකි. ගූථ නරකය, අසිපත්‍ර වන නරකය, කුක්කුල නරකය, සිම්බලී වන නරකයි.

 

අටමහ නිරය

1. සංජීව නරකය : යම පල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කෑලි කෑලි කොට කපද්දීත් ඒ සත්වයන් කර්ම බලයෙන් නැවත ජීවත් වන බැවින් ඒ නිරය සංජීවය නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝළාහල කළෝ ද, දුබලයන් පෙළු රජවරු හා නිලධාරීහු ද මැරයෝ ද සතුන් මරන්නෝ ද මෙහි උපදින්නා හ.

 

2. කාලසුත්‍ර නරකය : මෙහි උපන් සත්වයන් ගිනියම් වූ යම පොළොවේ පෙරළා, දැලිනූල් ගසා සහින්නා වූ බැවින් කාලසුත්‍ර නරකය නම් වේ. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළවුන් එහි දුක් විඳින්නා හ.

 

3. සංඝාත නරකය : මේ නිරයේ සත්වයන් නව යොදුන් ඝනකම පොළොවෙ හි එරී නිශ්චලව සිටිති. එහි අහස ගුඟුරන්නාක් මෙන් මහ හඬ නංවමින් එරී සිටින නිරි සතුන් අඹරමින් පර්වතයෝ ඒ මේ අත පෙරළෙති. ඒවාට යට වී සත්වයෝ සුණු විසුණු වෙති. ඇත්, අස්, ගව ආදී සතුන්ට වද දෙමින් වැඩ කරන්නෝ ද සතුන් මැරුවෝ ද එහි උපදිති.

 

4. රෞරව නරකය : මේ නිරයෙහි සත්වයන්ගේ ශරීර තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේ ය. ඇතුළත පිටත දෙකම දවනු ලැබීමෙන් හඬනු ලබන නිරි සතුන් ගේ හඬ නිරතුරුව එහි ඇසෙන බැවින් එම නරකයට රෞරව නරකය යැ යි කියනු ලැබේ.

 

5. මහා රෞරව නරකය : අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්වයන් ගේ නිරන්තරයෙන් පවත්නා මහ හඬ ඇති නිසා ද නිරි සතුන් ගේ ශරීර වලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකය මහා රෞරව නම් වේ. තුණුරුවනට අයත් වූ ද මාපියනට අයත් වූ ද වස්තුව පැහැර ගන්නෝ ද විනාශ කළ අය එහි උපදිති.

 

6. තාප නරකය : මේ නිරයේ යම පල්ලන් විසින් ගිනියම් වූ පොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණන ලද සත්වයෝ ගින්නෙන් දැවෙමින් දුක් විඳිති. සතුන් පණ පිටින් දවා මැරුවෝ ද අනුන් ගේ ගෙවල් ගිනි තැබුවෝ ද එහි උපදිති.

7. ප්‍රතාප නරකය : මෙහි ද තාප නරකයෙහි නිරි සතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්වයෝ පැසෙති. මරණින් මතු ඉපදීමක් නැතැයි කියා මිත්‍යා දෘෂ්ටි ගෙන පව්කම් කළ අය එහි උපදිති.

 

8. අවීචි මහ නරකය : මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා ද ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක් වලින් ද සත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ.

 

මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන් ගේ ඇගේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස් විනාශ කළවුන් ද, රත්නත්ත්‍රයට අයත් වස්තුව පැහැර ගන්නාවුන් ද, මිත්‍ර ද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කිවෝ ද, සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති.

 

අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ බෞද්ධයා ගේ අත්පොත නම් ග්‍රන්ථය ඇසුරෙනි

 

නිමි රජු දුටු නිරයන් හා එහි යෑමට හේතුවන කර්ම

 

අතීතයේ අප මහා බෝසතාණන් වහන්සේ නිමි මහ රජුව ඉපිද සිටියදී මාතලී දෙව්පුත් පැමිණ සක් දෙවිඳුගේ අණින් නිමි මහරජු වෛජයන්ත නම් රථයෙහි නංවා ගෙන දෙව්ලොව බලා යන්නට වුණා. ඒ යන ගමනේදී අපායේ දුක් විඳින සත්වයන් ද දෙව්ලොව දෙව් විමන්වල සැප විඳින සත්වයන් ද මාතලී නම් දිව්‍ය රථාචාර්යා විසින් නිමි මහ රජතුමාට පෙන්නුවේ ය.

 

ඒ අතර මුලින්ම පෙන් වූ යේ අපායේ දුක් විඳින සත්වයෝ ය. එම නිරයන් අතරින් ද මුලින්ම පෙන් වූ යේ වේතරණි නම් ඔසුපත් නරකය යි. කැකෑරෙමින් පැසෙන රත් වූ ගිනිසිළු බඳු පැහැ ඇති යා නොහැකි ලෝදියෙහි පැසෙන නිරි සතුන් දැක බියට තැති ගැනීමට පත් නිමි මහ රජතුමා කුමන පව්කම් කළවුන් වේතරණි නරකයෙහි වැටෙත් දැයි මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් ඇසුවේ ය. එවිට මාතලී දිව්‍ය පුත්‍රයා මෙසේ කීවේ ය.

 

මේ ලෝකයෙහි බැනීමෙන් හා අත්පා වලින් පහර දීමෙන් ද අක්‍රෝෂ පරිභව කිරීමෙන් ද දුබලයන්ට හිංසා කරන්නා වූ බලවත් හු ඒ පව් සාහසික ක්‍රියා හේතුවෙන් ඒකාන්තයෙන් ම වේතරණි නම් නරකයට පැමිණෙන්නේ යැ යි මාතලී දෙව්පුත් තෙමේ කීවේ ය.

 

ඉක්බිති මාතලී දෙව්පුත් වෙන නරකයක් කරා රථය පදවා එහි දුක් විඳින නිරි සතුන් නිමි රජතුමාට පෙන්වී ය. එහි ගව් තුනක් පමණ ශරීර ඇත්තා වූ නිරි සතුන් මහ ඇතුන් පමණ විශාල රතු වර්ණ හා කබර වර්ණ ඇති බල්ලන් විසින් එළවාගෙන ගොස් කෙණ්ඩා මාංසය හපා යම පොළොවේ පෙරලා ඇට පමණක් ඉතිරි වන සේ මස් ඉර ඉරා කනු ලැබේ. තව ද කරත්ත පමණ ශරීර ඇති ලෝහ තුඩු ඇති ගිජුලිහිණියෝ ඒ ලෝහ තුඩු වලින් නිරි සතුන් ගේ ඇට බිඳ ඇට මිදුළු කති. තව ද ලෝහ තුඩු ඇති අතිශයින් ම භායානක කපුටු රෑන් දුටු දුටු තැන එළව එළවා කොටා කති. මේ විඳින දුක් දුටු නිමි රජතුමා කුමන පව් කළ හු මේ නරකයෙ හි වැටේ දැ යි මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් ඇසු විට හෙතෙම මෙසේ පිළිතුරු දුන්නේ ය.

 

මේ අනුව යම් කිසිවෙක් මසුරුකමින් අනුන්ට කිසිවක් නොදෙන්නා හු ද අනුන්ට දෙන දෙත් වළක්වන ක්‍රියා ස්වභාව ඇත්තෝ ද මහණ බමුණන්ට නින්දා කරත් ද හිංසා ආක්‍රෝෂ කෙරෙත් ද ඔවුහු පව් රැස්කොට නිරයට යති. ඒ මේ නිරි සතුන් ගේ මස් කවුඩෝ අනුභව කරති යි මාතලී දෙව්පුත් කිවේ ය.

 

ඉන්පසු වෙනත් නරකයක් කරා රථය පදවා එහි දුක් විඳින සත්වයන් නිමි මහ රජතුමාට දැක්වී ය. ඒ නරකයේ භයංකාර මුහුණු ඇති යමපල්ලන් විසින් තල් කඳන් පමණ ප්‍රමාණ ඇති දැවෙන යකඩ කඳන් වලින් නිරි සතුන් ගේ කකුල්වලට පහරදී ගිනියම් වූ යම පොළොවේ හෙළා එම දැල්වෙන යකඩ කඳන්වලින් නිරි සතුන් ගේ ඇඟ සුනු විසනු කරති. මෙය දුටු නිමි මහ රජතුමා බියට පත් වී කුමන පව් කළවුන් මේ නිරයෙහි වැටේ දැයි මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් ඇසී ය. ඔහු මෙසේ පැවසී ය.

 

ඒ අනුව මිනිස් ලොව සීලාදී ගුණ සම්පන්න යහපත් ආචර්ය පැවතුම් ඇති නිවැරදි පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට හිංසා කරන බණින පව්කාරයෝ අකුසල් රැස්කොට මේ නිරයට වැටෙන බව කියවේ.

 

ඉන්පසු මාතලී දෙව්පුත් අන් නිරයක් කරා රථය පදවාගෙන ගොස් එහි දුක් විඳින සත්වයන් නිමි රජුට දැක්වී ය. එහි යම පල්ලෝ වටකොට ගිනිගෙන දිලිසෙන ආයුධවලින් කොටමින් ගවයන් ගාලකට එළවන්නාක් මෙන් අඟුරු වළට පන්නති. එහි වැටුනා වූ නිරි සතුන් තුනටිය දක්වා ගිනි අඟුරු වළෙහි එරෙති. යම පල්ලෝ මහත් වූ කූඩා වලින් ගිනි අඟුරු ගෙන නිරි සතුන් ගේ මත්තෙහි හලති. නිරි සතුන් වේදනාවෙන් විලාප දෙති. ඇතැම් නිරිසතුන් සිහිමුලාවෙන් තමාම දෝතින් ගිනි අඟුරු ගෙන හිස ලා ගනිති. මෙය දැක නිමි රජු බියට පත් වී මාතලී ය කිනම් පව් කළවුන් මේ නිරයෙහි වැටෙත් දැ යි ඇසු විට මාතලී තෙමේ මෙසේ කීවේ ය.

 

අවස්ථාවක් ලද කල දානයක් හෝ දෙන්නෙමු, පූජාවක් හෝ පවත්වන්නෙමු, විහාරයක් හෝ කරවමු යැ යි පිරිස් එකතුව මහජනයාගෙන් මුදල් සම්මාදම් කොට සමූහයා ගේ ප්‍රධානියාට අල්ලස් දී අසවල් තැන වැඩ සඳහා මෙපමණ වියදම් ගියේ ය, අසවල් තැන කටයුතු සඳහා අප විසින් මෙපමණ දෙන ලද්දේ යැ යි බොරු සාක්ෂි දී, ඒ මුදල් කා දමා ජනයා රැවටූ හොර සම්මාදම් කාරයෝ මේ නිරයට වැටෙති. ඔහු අඟුරු වළට වැටීමෙන් කම්පාවෙති යැ යි, අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.

 

ඉක්බිති මාතලී තෙමේ රථය අන් නරකයක් වෙත පැදවී ය. එහි ඇවිල ගත් දිලිසෙන ගිනිදැල් සහිත මහත් ලෝහ සැළියක් පෙනේ. එහි ලෝ දිය පිරී පවති යි. එහි උපන් නිරි සත්වයෝ යමපල්ලන් විසින් අල්ලාගෙන පා උඩට හිස යටට කොට ඒ ලෝදිය සැළියට දමනු ලැබෙත්. නිරි සතුන් එහි පෙණ දම දමා පුපුර පුපුරා පැසෙති. මෙය දැක බිය පත් වූ නිමි මහ රජතුමා මාතලී ය, මොවුන් කුමන පව් කළාහු දැ යි විචාළේ ය. එහිදී මාතලී තෙමේ මෙසේ කීවේ ය.

 

සිල්වත් වූ යහපත් වූ ආචාර ගුණ ඇති මහණ බමුණන්ට හිංසා කෙරෙත් ද එසේ කළ පාපකාරී හු හිස පහළට වැටෙන සේ මේ ලෝකුඹු නිරයෙහි වැටී පැසෙත් යැ යි, අටුවාවට ද අනුව සරලව තේරුම්ගත යුතු ය.

 

ඉක්බිති මාතලී දෙව්පුත් තෙමේ ඒ දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි යමපල්ලන් විසින් තුන් ගව් පමණ ශරීර ඇති නිරි සතුන් ගේ බෙල්ලට ගිනිගෙන දිලිසෙන ලෝහ යොත් දමා ඉදිරියට නමා හිස කපා ගිනියම් වූ ලෝහ දණ්ඩකින් ගෙන ගොස් ලෝකුඹු නිරයෙහි දමති. එය බලමින් යමපල්ලෝ සතුටු වෙති. කර්ම බලයෙන් ඒ නිරි සතුන්ට නැවත නැවත බෙල්ල සහිත හිස් පහළ වෙයි. යම පල්ලෝ ද නැවත නැවතත් පෙර සේ ම දුක් දෙති. මෙය දුටු නිමි රජු බියට පත්ව කිනම් පව් කළවුන් මෙහි ඉපදී මෙසේ දුක් විඳින්නා හු දැ යි මාතලීගෙන් ඇසී ය. එහිදී ඇසු විට හෙතෙම මෙසේ කීවේ ය.

 

මහරජ, මේ ලෝකයෙහි යමෙක් පක්‍ෂීන් අල්ලාගෙන අත් තටු සිඳ පිහාටු ගලවා ගෙල සිඳ මරා කන්නේ හෝ වේ ද, විකුණන්නේ හෝ වේ ද ඔවුහු මේ නරකයට වැටී සුන් වූ හිස් ඇතිව සයනය කෙරෙත් යැ යි, අටුවාවට ද අනුව අර්ථ තේරුම් ගත යුතු ය.

 

ඉක්බිති මාතලී දෙව්පුත් රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි නො ගැඹුරු කොට ඇති රමණීය ගංඟාවක් ගලා බසියි. ගින්නෙන් රත් වූ නිරිසතුන් ගිනි පොළොව පාගමින් පැන් බීමේ අදහසින් ඒ ගඟට බසින්නාහ. එකෙනෙහිම ගං ඉවුර ගිනි ගනී. එහි ගලාගිය වතුර ගිනියම් වූ බොල් වී බවට පත් වෙති. පිපාසය ඉවසාගත නො හැකි වූ නිරි සත්වයෝ ඒ ගිනිගත් බොල් වී කන්නා හ. ඒ ගිනියම් වූ බොල් වී ඔවුන් ගේ සකල ශරීරය ම දවාගෙන අධෝ මාර්ගයෙන් නික්මෙති. ඔවුහු දුක ඉවසා ගත නො හැකිව දෙඅත හිසේ බදාගෙන හඬති. මෙය දැක නිමි රජු කිනම් පව්කම් කළවුන් දැයි මාතලීගෙන් ඇසී ය. මාතලී තෙමේ මෙසේ කීවේ ය.

 

ඒ අනුව වී ආදී සප්ත විධ ධාන්‍යයෙන් යම්කිසි ධාන්‍යයක් මිලයට ගන්නා තැනැත්තෙක් හට බොල් හා මිශ්‍ර කොට දෙයි ද, අර්ථයක් නැති දෙයක් හා මිශ්‍ර කොට දෙයි ද, වැලි මැටි ආදිය සමග මිශ්‍ර කොට දෙයි ද, මෙසේ ජනයා රවටා විකුණූ සොරු මෙහි ඉපදී ගිනියම් වූ බොල් ගිලින්නාහ යැ යි කීවේ ය.

 

ඉක්බිති මාතලී දෙව්පුත් දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි රෞද්‍ර වූ යමපල්ලෝ දුනු ඊ ආදී නානා ආයුධ ගෙන වනයෙහි මුව වැද්දන් මෙන් නිරිසතුන් වට කොට දෙපසින් විදිති. ඒ නිරි සතුන්ගේ ශරීර හැම තැනම සිදුරු සිදුරු වී පණුවන් කෑ කොළ මෙන් වෙති. මෙය දුටු නිමි රජු මේ සතුන් පෙර මෙහි ඉපදීමට කිනම් පව් කළාහු දැයි ඇසු විට මාතලී රියදුරු තෙමේ මෙසේ කීවේ ය.

 

ඒ අනුව යමෙක් ධන, ධාන්‍ය, රන්, රිදී, එළු, බැටළු ගව ආදී හිමියන් විසින් නො දුන් අවිඤ්ඤාණක සවිඤ්ඤාණක යමක් සොර සිතින් ගෙන ජීවත් වෙද් ද, ගෙවල් බිඳීම් ආදිය කොට හෝ වංචා ප්‍රයෝගයකින් හෝ අනුන් සතු නො දුන් දෙය සොර සිතින් ගෙන දිවි පැවැත් වූ අය මෙහි ඉපිද ආයුධ වලින් නැසී දුක් විඳින්නේ යැ යි කී බව, අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.

 

ඉක්බිති මාතලී දෙව්පුත් දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි උපන් ඇතැම් නිරි සතුන් යමපල්ලන් විසින් කපා මස් ගොඩවල් බවට පත් කරති. එහි උපන් ඇතැම් නිරි සතුන් යමපල්ලන් විසින් බෙල්ලට ලෝහ කඹ දා ඇද යමපොළොව මත පෙරලා නානා ආයුධ වලින් කොටා කෑලි කෑලි වලට වෙන් කරන ලදි. මෙය දුටු නිමි රජු බිය පත් ව මොවුන් පෙර කුමන පව්කම් කළාහු දැ යි මාතලී රියදුරාගෙන් ඇසු විට මාතලී දෙව්පුත් තෙමේ මෙසේ කීවේ ය.

 

ඒ අනුව මිනිස්ලොව ගවයන්, මීහරකුන්, එළුවන්, බැටළුවන්, ඌරන් මරා මස්කොට ජීවත් වන්නෝ ද මසුන් මැරුවෝ ද මොවුන්ගේ මස් මස්ලොඹු වල (මස් විකුණන ලෑලි වල) විකිණීමට කොටස් වශයෙන් තැබුවාහු ද තවත් නොයෙක් සතුන් මරා මස් විකුණා දිවි පවත්වන්නෝ ද මේ නිරයේ ඉපිද නිරි පල්ලන් විසින් කොටස් කළ මස් ගොඩවල් බවට පත්ව දුක් විඳින්නේ යැ යි මාතලී දෙව්පුත් කී බව, අටුවා විස්තරයට අනුව අර්ථ දත යුතු ය.

 

ඉක්බිති මාතලී දෙව්පුත් නිමි මහ රජතුමාට අන් නරකයක් දක්වන ලදී. එහි ඇති මළ මූත්‍රා පිරුණු අතිශයින් දුර්ගන්ධ වූ අසූචි විල ගිනිගෙන දුම් දමමින් පැසෙන්නේ ය. සාදුකින් පෙලෙන නිරි සත්වයෝ ඒ කුසගිනි වේදනා ඉවසාගත නො හැකිව දුම් දමමින් පැසෙන ඒ අසූචි ගුලි ලෙස පිඬුකොට ගෙන අනුභව කරති. මෙය දුටු නිමි රජු මේ සත්වයන් මනුලොව දී කිනම් පව් කළාහු දැ යි මාතලී දිව්‍ය රියදුරුගෙන් ඇසු විට හෙතෙම මෙසේ කීවේ ය.

 

ඒ අනුව යම් සත්වයෙක් අත්පා කැපීම් ආදී වශයෙන් මිනිසුන්ට දරුණු වධ දෙන්නෝ ද මිතුරන් වෙහෙසන්නෝ ද අනුන්ට හිංසා පීඩා කරන්නෝ ද අනුන්ගේ ගෙයි ආහාර පාන අනුභව කොට පනවන ලද අසුන්වල ම නිදා පසුව ඒ උපකාර කළ මිතුරන් ගේ ධනය පැහැර ගන්නා වූ ඔවුන්ගෙන් අල්ලස් ගන්නා වූ මිත්‍ර ද්‍රෝහිහු ද මේ නිරයෙහි ඉපිද ගිනියම් වූ අසූචි අනුභව කරත් යැ යි මාතලී දෙව්පුත් කියා ඇති බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.

 

ඉක්බිති නිමි රජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි කුණු වූ ලේ සැරව පිරුණු අතිශයින් දුර්ගන්ධ වහනය වන අපවිත්‍ර විලක් ඇත. ගිනි රශ්මියෙන් අතිශයින් ම පෙලෙන නිරි සතුන් ඉන් පිපාසිතව බීමට පැන් නැතිව මේ කුණු වූ අපවිත්‍ර ලේ සැරව පානය කරති. මෙය දුටු නිමි රජු ඔවුන් කිනම් පව්කම් කළාහු දැ යි විමසී ය. එහිදී මාතලී දෙව්පුත් ඒ කරුණ මෙසේ පහදා දෙන ලදී.

 

ඒ අනුව යමෙක් මව හෝ පියා හෝ රහතුන් හෝ මරා ගිහි පරාජිකාවන්ට පත්වූවෝ ද පූජා සත්කාරයට සුදුසු වූ සිල්වත් ගුණවත් බුද්ධ ශ්‍රාවකයෝ නැසූ පව්කාරයෝ ද මෙහි ඉපිද ලේ සැරව අනුභව කරන්නෝ වෙති යැ යි මාතලී දෙව්පුත් කී බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.

 

ඉක්බිති නිමි මහ රජතුමාට අනු නරකයක් පෙන්වන ලදී. එහි යමපල්ලන් විසින් උපන් නිරිසතුන් ගේ දිව ගිනියම් වූ බිලී කොකු වලින් අමුණා ඇද ගිනියම් වූ යම පොළොවෙ හි හෙලා ගව හමක් ඇද උල් ගහන්නාක් මෙන් උල් ගසත් නිරි සත්වයෝ ගොඩ දැමූ මසුන් මෙන් දුක් ඉවසා ගත නො හැකිව හඬමින් කෙළ වඟුරවත්. මෙය දුටු නිමි රජු බියපත් වී කිනම් පව් කළාහු මෙහි වැටී දුක්විඳිත් දැයි මාතලී රියදුරු ගෙන් අසන ලදී. එහිදී මාතලී දෙව්පුත් මෙසේ කීවේ ය.

 

ඒ අනුව බඩු මිල නියම කරන ස්ථානයෙ හි ඒ ඒ භාණ්ඩයේ අගය නියම කිරීම් වශයෙන් හෙවත් මිල ප්‍රමාණ කිරිම් වශයෙන් නියුතුව සිටින පුද්ගලයෙක් භාණ්ඩ ගන්නට සිටින පුද්ගලයන්ගෙන් අල්ලස් ගෙන වටිනා භාණ්ඩයේ මිල පහත හෙලන කෛරාටිකයෝ ද ඇමෙන් වැසූ බිලීකොක්ක රැගෙන මසකු මරන්නා සේ හොර කිරුම් මිණුම් ආදී කූඨ ක්‍රියා කරන නීච වෙළෙන්දෝ ද මෙහි ඉපිද ගිනියම් වූ බිලි අමුණන ලදුව ගිනියම් වූ යම පොළොවෙහි නිදත් යැ යි පවසන ලද බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.

 

ඉක්බිති මාතලී දෙව්පුත් තෙමේ නිමි මහ රජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි යමපල්ලන් විසින් කැපූ ශරීර ඇති පිළිකුල් ස්ත්‍රී හු හිස අත බැඳගෙන හඬති. ගෙල සිඳි ගවයන් මෙන් ලේ සැරව තැවරුණු ශරීර ඇතිව ගිනියම් වූ යම පොළොවෙ හි ඉඟටිය තෙක් එරී සිටුවන ලද කණු මෙන් සිටිති. එහිදී එක් එක් දිශාවලින් ගිනියම් වූ යකඩ පර්වත, හෙන ගහන්නාක් මෙන් ශබ්ද නංවමින් නැගී අවුත් ඔවුන් ගේ ශරීර සුණු විසුණු වී එකෙනෙහි ම කර්ම බලයෙන් නැවතත් ශරීරය තිබූ අයුරින්ම පහළ වෙති. ගිනියම් වූ පර්වත ද නැවත නැවත ඔවුන්ගේ ශරීර සුණු විසුණු කරත් ම ය. විටක ගිනියම් වූ පර්වත දෙකක් දෙපසින් විත් උක්ගස් අඹරන්නාක් මෙන් පෙලත් ඉතා රත් වූ ලේ වැගිරෙති. කිසියම් විටක පර්වත තුන හතරක් ද විත් මෙසේ ම පෙලති. මෙය දුටු නිමි රජු බියපත්ව මාතලීය, මොවුන් කිනම් පව් කළාහු දැ යි විචාළේ ය. එහි දී මාතලී දෙව්පුත් තෙමේ මෙසේ කීවේ ය.

 

ඒ අනුව අපිරිසිදු ක්‍රියා ඇති සමහර කුල ස්ත්‍රී හු අසංයත ධූර්තිකාවන් මෙන් ආහාර පාන වස්ත්‍රාභරණ සපයා දීමෙන් තමන් පෝෂණය කරන හිමියන් හැර පර පුරුෂයන් සතුටු කරවන්නා වූ ඔවුන් හා සිත් පරිදි කම්රතියෙහි හැසිරෙන පාප ස්ත්‍රී හු මේ නිරයට පැමිණ ගිනියම් වූ යම පොළොවෙහි ගිනිදැල් සහිත පර්වතවලින් ඇඹරෙති යැ යි කියා ඇති බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.

 

ඉක්බිති මාතලී දෙව්පුත් තෙමේ නිමි මහ රජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි දිලිසෙන බියකරු ගිනි අඟුරු පිරුණු මහ නරා වලකි. එය දැක නිරි සතුන් එහි පිවිසීමට බියව සිටින විට ගාලට නො පිවිසෙන හරකුන්ට මෙන් යමපල්ලන් විසින් නොයෙක් ආයුධ ගෙන විදිමින් තලමින් ඒ අඟුරු වල කරා ගෙන ගොස් නිරි සතුන්ගේ පා වලින් ගෙන හිස යටිකුරුව සිටින සේ ඒ බියකරු ගිනි අඟුරු වලේ හෙලත්, එහි ගිලෙන්නා වූ නිරි සතුන් දුටු නිමි මහ රජතුමා බියපත්ව මොවුන් මේ තාක් මහත් දුකට පත්වන්නට කිනම් පව්කම් කළා හු දැ යි විචාළේ ය. එහි දී මාතලී තෙමේ මෙසේ කීවේ ය.

 

ඒ අනුව මිනිස්ලොව මිනිසුන් ගේ උත්තම භාණ්ඩයන් වූ ඉතාම ඇලුම් කරන ප්‍රිය භාර්යාවන් හා යම් පුරුෂයෙක් පරදාර සේවනයේ යෙදෙද් ද ඒ පාපී පුරුෂයෝ මෙහිදී දෙපාවලින් ගෙන හිස පහළට සිටින සේ අඟුරු වළට හෙලනු ලැබෙත් යැ යි කී බව කෙටියෙන් දත යුතු ය.

 

ඉක්බිති නිමි මහ රජතුමාට මාතලී දෙව්පුත් විසින් අන් නරකයක් පෙන්වන ලදී. ඒ නිරයෙහි කුඩා මහත් දුක්ගැහැට ඇති අතර යමපල්ලන් බිම පෙරලා උල් ගැසීම, හරස් කියතින් ශරීරය කැපීම, වෑයෙන් කැපීම, ලෝ දිය පෙවීම, ලෝහ ගුළි කැවීම, ආදී අනේක දුක් දෙයි. (රේරුකානේ චන්දවිමල මහා නා හිමිගේ - චත්තාලිසාකාර මහා විපස්සනා භාවනාව යන ධර්ම ග්‍රන්ථයෙහි දක්වා ඇත.) මෙහි නිරි සතුන් තියුණු රළු කටුක දුක් වේදනා විඳිති. නිමි රජු මෙය දැක බියට පත්ව මොවුහු කිනම් පව් කළාහු දැ යි මාතලී රියදුරුගෙන් විමසී ය. හෙතෙම මෙසේ කීවේ ය.

 

ඒ අනුව මෙලොවක් නැත, පරලොවක් නැත, දී මෙහි විපාක නැත, මව්පියන්ට උපස්ථාන කළාට වැඩක් නැත, යනාදී ලෙස කර්ම ඵල විශ්වාස නො කරමින් මිසදිටු ගෙන තමාද මෝහයෙන් නොයෙක් පව්කම් කොට අන්‍යයන්ට ද මිසදිටු අදහස් දී ඔවුන් ද මුලා කරන අධම පව්කාරයන් මෙහි ඉපිද තියුණු රළු කටුක දුක් වේදනා විඳිත් යැ යි කියා ඇති බව දත යුතු ය.

 

මේ අතර දෙව්ලොව දෙවියෝ ද සුධර්මා දෙව් සභාවේ රැස්ව නිමි මහ රජ මාතලී රථාචාර්‍ය්‍යයා හා පැමිණෙන තුරු මඟ බලා සිටිති. සක් දෙවිඳු මාතලී දෙව්පුත් ප්‍රමාද කුමක් නිසා ද කියා බලනුයේ මේ කරුණ දැක මෙසේ සිතුවේ ය. මාතලී දෙව්පුත් නිමි රජුට අසවල් කර්මය කොට අසවල් නිරයෙහි පැසෙත් යැ යි කියමින් නරකයන් දක්වමින් හැසිරෙ යි. “නිමි රඤ්ඤෝ පණ ආයු ඛියේථනනිරය දස්සනස්ස පරියන්තං ගව්ජෙය්‍යාති” ඉදින් නිමි රජුගේ ආයුෂ ගෙවුනේ නමුදු නිරයන් දැකීම කෙළවරකට නම් නො යන්නේ යැයි රජුන් සමඟ වහා එන්න යැයි දිව්‍ය පුත්‍රයෙක් අත පණිවිඩයක් යැවී ය. එය ඇසූ මාතලී දෙව්පුත් (ගුවනට නැංවූ අහස් යානයක සිට නගරයක සිරි නරඹන්නාක් මෙන්) එකපාරටම සතර දිශාවල බොහෝ නිරයෝ දක්වා මෙසේ කීවේ ය.

 

මහරජ, පව්කම් කළ සතුන් වසන තැන් ද දරුණු පව්කම් කළ සතුන්ගේ උප්පත්ති ස්ථානයෝ ද දුශ්සීල සත්වයන් උපදනා ස්ථානයෝ ද ඔබ විසින් දක්නා ලදහ. දේවයන් වහන්ස! දැන් සක් දෙව් රජුගේ දිව්‍ය සම්පත් දක්නා පිණිස යනු මැනවි යැයි මාතලී දෙව් පුත් කීවේ ය. පසුව මෙසේම එහි දෙව් විමන් බලමින් ගිය බව නිමි ජාතකයේ දැක්වේ.

 

මේ ඉහත දැක්වූ නිරයන්හි ඉපදීමට හේතුවන යම් පවක් කලේ නම් එය චුත වන මොහොතේ සිහි වුවහොත් එම නිරයන් හි ඉපිදී දුක් විඳීමට සිදුවේ. පසුව එයින් මිදී තිරිසන් සතුන් වී ඉපිද අපමණ දුක් ගැහැට විඳීමට සිදු වේ. තිරිසන් ලෝකයේ ඇති දුක ටිකක් හෝ ඔබට පෙනෙන බැවින් මෙහි එය විස්තර නො කරන්නෙමු. ඉන්පසු ශේෂ කර්ම විපාක ලෙස ප්‍රේත ලෝකවල ද ඉපදී අපමණ දුක් විඳීමට සිදු වේ.

 

තිරිසන් අපාය

මිනිස් ඇසට නො පෙනෙන තරම් ඉතා කුඩා සත්වයා ගේ පටන් යොදුන් ගණනක් ඇති සත්වයන් දක්වා සිටින පා නැත්තා වූ ද දෙපා ඇත්තා වූ ද සිව්පා ඇත්තා වූ ද බොහෝ පා ඇත්තා වූ ද නොයෙක් සටහන්, නොයෙක් ආකාර ඇත්තා වූ ද තිරිසන් සත්ව සමූහයම තිරිසන් අපාය යි. නරකය මෙන් ඔවුන්ට වෙන් වූ තැනක් නැත. ඔවුහු උපනූපන් ඒ ඒ තැන්වලම ඔවුනොවුන් කා ගනිමින් කිසි පිළිසරණක් නැතිව නිරතුරු බියෙන් ත්‍රස්ථව ජීවත් වෙති.

 

අසුර අපාය

අසුර යන නාමයෙන් දේව ගණයට අයත් කොටසක් ද ඇත්තේ ය. බෞද්ධ පොත්වල වේපචිත්ති අසුර, පහාරාද අසුර යනාදිය නම් වලින් දැක්වෙන්නෝ දේව ගණයට අයත් අසුරයෝ ය. ඔවුහු දෙවියන් මෙන්ම සැප ඇත්තෝ ය. අසුර යන නාමය ව්‍යවහාර කරන ප්‍රේතයන් වැනි දුක්ඛිත සත්ව කොට්ඨාශයක් ද ඇත්තේ ය. අසුර අපාය යනු ඒ සත්ව සමූහය ම ය. ඔවුහු ද ප්‍රේතයන් මෙන්ම නොයෙක් ආකාර ශරීර ඇත්තෝ ය.

 

ප්‍රේත ලෝකය

මෙහි ලෝකය යන්නෙන් අදහස් කලේ කොටස, වර්ගය යන බව දත යුතු ය. තවත් මස්පිඩු වැනි ශරීර ඇති ප්‍රේතයෝ, ඇට සැකිළි බඳු ශරීර ඇති ප්‍රේතයෝ, සම නැති ප්‍රේතයෝ කටින් දුඟද හමන පූතිමුඛ ප්‍රේතයෝ ආදී බොහෝ ප්‍රේත කොටස් ඇත. ලක්ඛණ හිමි මෙවැනි විවිධ ප්‍රේතයන් විසිඑක් දෙනෙකු දැක ඇත. ප්‍රේත වස්තු ප්‍රකරණයේ ප්‍රේතයන් ගේ දුක්බර කථා පනස් එකක් දක්වා ඇත. දූෂිත සිතින් කරන කියන දෙයෙහි දුක්බර අඳුරු විපාක දැක්වීමට මෙහිලා ඉන් කිහිපයක් දක්වන්නෙමි.

 

o   සෙම සොටු ආහාර කොට ඇති වත්තාස නම් ප්‍රේත ලෝකය.

o   මිනිසුන් ගේ හා සතුන් ගේ මළකුණු ආහාර කොට ඇති කුණපාස නම් ප්‍රේත ලෝකය.

o   අසූචි ආහාර කොට ඇති ගූථඛාදක නම් ප්‍රේත ලෝකය.

o   කටින් නික්මෙන්නා වූ ගිනිදැල් ඇති අග්ගිජාල මුඛ නම් ප්‍රේත ලෝකය.

o   ඉදිකටු මලකය පමණ වූ මුඛයක් ඇති මහා සැළියක් පමණ බඩ ඇති සුවිමුඛ ප්‍රේත ලෝකය.

o   සාගින්නෙන් හා පිපාසයෙන් නිතර පෙළෙන බැවින් ආහාර පාන ආශාවෙන් පෙළෙන තණ්හට්ටිත පේ්්‍රත ලෝකය.

o   ගින්නේ දා ගිය කණුවක් මෙන් වියළී ගිය ශරීර ඇති සුනිජ්ඣාමක නම් ප්‍රේත ලෝකය.

o   ආයුධ වැනි වූ තියුණු තමාගේ ශරීරයම කැපෙන නිය ආදී ශරීර අවයව ඇති සත්‍ථංඟ ප්‍රේත ලෝකය.

o   පර්වත තරම් විශාල ශරීර ඇති පබ්බතංග ප්‍රේත ලෝකය.

o   පිඹුරන් ගේ ශරීර වැනි ශරීර ඇති අජගරංග ප්‍රේත ලෝකය.

o   විමානවල ඉපිද සැපදුක් දෙකම කලින් කල විඳින්නා වූ වේමානික ප්‍රේත ලෝකය.

o   කැලෑවල වාසය කරන්නා වූ මහත් වු සෘද්ධි ද ඇති මහිඬික නම් ප්‍රේත ලෝකය.

 

ප්‍රේත වස්තු කථා කිහිපයක්

 

පව්කළ ගැහැණියක ගේ දුක්බර කථාව (මත්තා ප්‍රේත වස්තුව)

 

භූත යන පුතුගේ පියාට තිස්සා හා මත්තා කියා බිරිඳන් දෙදෙනෙක් වූහ. පසු කලෙක නරක ගති පැවතුම් තිබූ මත්තා මැරී ප්‍රේතියක් ව ඉපිද දිනක් භූතගේ පියා නිවසේ නැති අතරේ නිවස අසලට ආවා ය. මේ ප්‍රේතිය දුටු තිස්සාව ප්‍රේතියගෙන් තොප කවරෙක් දැ යි ප්‍රශ්න කළා ය. එහි දී ප්‍රේතිය තමා මේ නිවසේ සිටි මත්තා බව කීවා ය. කුමන පවක් කොට ප්‍රේත ලෝකයේ උපන්නේ දැ යි ඇසූ විට ප්‍රේතිය මෙසේ කිවා ය.

 

මම ක්‍රෝධ කරන, පරුෂ බස් කියන, ඊෂ්‍ය_ා කරන මසුරු සිත් ඇති කෛරාටික ගති ඇත්තියක් වීමි. මම ඒ නපුරු වචන කථා කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියෙමි යැ යි ප්‍රේතිය කී බව අර්ථ දත යුතු ය.

 

ඉක්බිති තිස්සාව විසින් කවර පාප කර්මයක් හේතුවෙන් පසින් ගැවසුනු සිරුරක් ඇත්තියක් වූයේ දැ යි අසන ලදී. එහිදී තමා මනුලොව දී, ලස්සන ඇඳුමින් සැරසුන තිස්සාව හා ස්වාමි පුත්‍රයා කථා කරමින් සිටිනා දැක ඊර්‍ෂ්‍යාවෙන් මැඩුනු සිත් ඇත්තී කෝපයෙන් පස් ගෙන එයින් තිස්සාවට ගැසූ පවින් මෙසේ වූ බව කීවා ය.

 

ඉක්බිතිව තිස්සාව විසින් ප්‍රේතියගෙන් කවර කර්මයක් හේතුවෙන් නුඹ කැසීම් රෝගයකින් පෙලෙන්නී දැ යි ඇසී ය. එහිදී ප්‍රේතිය මනුලොව මත්තා නමින් සිටිය දී කසඹිලියා ගෙඩි ගෙනවිත් තිස්සා (තම ස්වාමියාගේ අනෙක් භාර්යාව) නිදන යහනේ ඇතුරුවා වූ පාප කර්ම බලයෙන් මෙසේ වූ බව කීවා ය. ඉක්බිති තිස්සාව ප්‍රේතියගෙන් නුඹ නග්නව ඉපදීමට හේතුව කුමක් දැ යි අසනු ලැබුවා ය. පෙර මත්තා නමින් මනුලොව මිනිස් කතක්ව සිටිය දී වස්ත්‍රයක් සොරකම් කල පවින් මෙසේ නග්නව උපන්නේ යැ යි ප්‍රේතිය කිීවා ය.

 

ඉක්බිති තිස්සාව ප්‍රේතියගෙන් කුමක් හෙයින් (තෝ) අසූචි ගඳ හමන්නියක් වූවා දැ යි ඇසුවා ය. පෙර ජීවිතයේ දී ස්වාමි පුත්‍රයා ගේ අනික් බිරිඳ ගේ සුවඳ වර්ග ද, මල් මාලාවක් ද අගනා විලවුන් ද අරගෙන අසූචි වළකට දැමූ පවින් මෙසේ දුගඳ හමන්නියක් වූ බව ප්‍රේතිය කීවා ය. පසුව තිස්සාව විසින් භික්ෂූන් අට නමක් වඩම්මා දන් දී ඇය ප්‍රේත දුකින් නිදහස්කර දිව්‍ය සම්පත් ලඟාකර දුන්නා ය.

 

එබැවින් පින්වතුනි, මනුලොව ජීවත් වන ඔබ දුකට හේතුවන කිළිටි කර්ම නො කොට පිරිසිදු ජීවිතයක් ගත කිරීමට සිතට ගත යුතු ය.

 

රන්වන් ගතක් හා තිරිසන් මුවක් ලද සූඛර මුඛ ප්‍රේත වස්තුව

 

නාරද හිමි රන්වන් ගතක් හා ඌරු කටක් ඇති ප්‍රේතයෙක් දක්නා ලදී. ඒ ප්‍රේතයාගේ පූර්ව කර්මය විමසා බැලු විට හෙතෙම කාශ්‍යප බුදු සසුනේ භික්ෂුවක්ව සිටිය දී කායික සංවරය ආරක්ෂා කළ පිනින් රන්වන් පාට සිරුරක් ඇත්තෙක් විය. වචනයෙන් භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කළ පවින් නිරයෙහි බුද්ධාන්තරයක් ම පැසී දැන් ඌරු කටක් ඇති ප්‍රේතයෙක්ව ඉපිද ඇති බව ප්‍රේතයා විසින් ම කිවේ ය.

(ප්‍රේ.ව අ. 8 පිට)

 

කේළාම් කීමේ බරපතල කම

 

නාරද හිමි දුටු පූතිමුඛ ප්‍රේතයා ගේ ශරීරය දෙවියෙකු ගේ බඳු පැහැ ඇත්තේ ය. නමුදු දුගඳ හමන මුඛය පණුවෝ පිරී සිදුරු කොට කති. මෙසේ වීමට හේතුව මොහු කාශ්‍යප බුදු සසුනේ භික්ෂුවක් වී සිටිය දී කය සංවර කරගත් අතර ආවාසය ගැන ලෝභ උපදවා කේළාම් කියා එහි සිටි භික්ෂූන් දෙනම භේද කොට යවන ලදී. ඒ පවින් නොබෝ කලකින්ම ගිලන්ව මැරී නිරයේ ඉපදී බුද්ධාන්තරයක් ම පැසී දැන් ප්‍රේතව ඉපිද දුක් විඳින බව අටුවාවේ දක්වා ඇත.

(ප්‍රේ. ව අ. 10 පිට)

 

බොරු කියා දිවුරා ගැලවුන උපාසිකාව

 

සැවතට ආසන්න ගමක සිටිය දී භික්ෂූන් අටනමක් දුටු පඤ්ච පුත්‍ර ඛාදක ප්‍රේතියගේ විස්තරය මෙසේ ය. ඇය නග්නය, විරූප වූ පිළිකුල් රූපයෙන් යුක්ත ය, සිරුරින් කුණු ගඳ හමයි, හාත් පස මැස්සන්ගෙන් පිරුණු සිරුරු ඇත්තී ය. ඇය උදේ කාලයේ දරුවන් පස් දෙනෙක් වඳා සාදුකින් පෙලෙන බැවින් වැඳු පුතුන් පස් දෙනා ම කනු ලැබේ. සවස ද එසේම කරනු ලැබේ. හේතුව ඇය පෙර සැමියා ගේ අනෙක් බිරිඳ ගේ ගැබ්හෙලා එය ඇසූ කල එසේ නො කළ බව කියා, කළේ නම් පෙර කී දුක් විඳින්නියක් වේවා යැ යි බොරුවට දිවුරුවා ය. එබැවින් මෙසේ වූ බව දක්වා ඇත. මෙසේ ම අන් ස්ත්‍රියක ගේ ගැබ්හෙලා එසේ කළේ නැත යැ යි බොරු කියා දිවුරා උදේ සවස දරුවන් පස් දෙනා බැගින් බිහිකොට, ඒ තම දරුවන් ම අනුභව කරන ප්‍රේතියක් බොහෝ භික්ෂූන් විසින් දක්නා බව ද සඳහන් වේ.

(ප්‍රේ. ව පාලි 1-6 , 1-7 වස්තූන්)

 

සැමියාට කළ ශාපය බිරිඳට විඳවන්න වූ කථාව

 

එක් භික්ෂුවක් කැලේ විවේකයෙන් සිටිය දී නින්ද ගොස් මොහු සමඟ සිටි අනිත් පිරිස කථා නො කොට අමතක වී ගිය හ. සවස අවදි වූ පසු වනයේ එක් දෙවියෙක් මිනිස් වෙසින් විත් උපස්ථාන කලා. ඒ අතර අසූචි හා මූත්‍රා ද ලේ සැරව ද අනුභව කරන ප්‍රේතියක් විත් දිව්‍ය පුත්‍රයාගෙන්, හිමියනි මට ආහාර දෙන්න, වස්ත්‍ර දෙන්න යැ යි ඉල්ලයි. ඇයට දෙන දුහුල් දිව්‍ය සළු ද ලෝහ බවට පත්වෙත්. මෙය දුටු භික්ෂුව දෙව්පුත්ගෙන් විස්තර ඇසී ය. ඇය මනුලොව දී තමාගේ බිරිඳ බවද තමා දන්දෙන විට ඇය ලෝභයෙන් මසුරු බවින් මෙසේ ආක්‍රෝෂ කළ බව ද කිවේ ය. එනම් “මේ දානය තොපට පරලොවදී අසූචි ද මූත්‍ර ද සැරව ද වේවා, මේ දෙන වස්ත්‍ර තොපට ලෝහ වස්ත්‍ර වේවා” කියා ය. තමා දන් දී දෙව් විමනක් ලද බවද බිරිඳ දන් දෙන ඔහුට මසුරුව ශාප කොට මෙසේ ප්‍රේතියක් වී ඉපදී ඇති බවද දෙව්පුත් පැවසුවේ ය.

(මහාපේසකාර ප්‍රේත වස්තූව)

 

යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට වූ විපාකය

 

දිනක් කංඛාරේවත ස්වාමීන් වහන්සේ ගංඟා නදී තීරයේ සිටිය දී ප්‍රේතියක් විත් උන්වහන්සේගෙන් බීමට පැන් ඉල්ලී ය. සිහිල් දිය ඇති මේ ගඟ මෙහි තිබෙද් දී කුමක් නිසා පැන් ඉල්ලන්නී දැ යි ඇසූ විට තමා ඒ පැන් ගන්නා විට ඒ ගඟ දිය වතුර ලේ බවට පත් වන බව කීවා ය. ඊට හේතුව මැය මනුලොව ඉපදී සිටිය දී මැයගේ උත්තර නම් පුතු කච්චායන ස්වාමීන් වහන්සේට දන් දෙන විට මසුරු කමින් පෙළුණු මෑ පුතුට මෙසේ ශාප කලේ ය. “යම් සේ ඔබ මගේ අකමැත්තෙන් මෙසේ මහණුන්ට දන් දෙව් ද, මේ සියල්ලම ඔබට පරලොව දී ලේ වේවා” කියා ය. එහි විපාක ඇයට මෙසේ ප්‍රේතියක් වී ගෙවන්නට වූ බව දක්වා ඇත.

(උත්තර මාතු ප්‍රේත වස්තුව)

 

කූට වෙළෙන්දාට හා මව්පියන්ට පහර දුන්නන්ට වන විපාක

 

එක් ප්‍රේතයෙක් බොල් වී හිස විසුරුවා ගනී. එක් ප්‍රේතයෙක් මුඟුරෙන් සිය හිස බිඳගනි. එක් ප්‍රේතියක් සිය මස් ලේ අනුභව කරයි. එක් ප්‍රේතියක් අසූචි අනුභව කරයි. මෙය දුටු මුගලන් මහ රහතන් වහන්සේ අසූචි කන ප්‍රේතියගෙන් තොපි කුමන පව්කොට මෙසේ දුක් විඳින්නාහු දැ යි ඇසූ සේක.

 

පෙර කූට වෙළෙන්දෙක් හැල් වී (බොල්) රත් හැල් වී සමග මිශ්‍ර කොට හොර මිණුම් ක්‍රම ද ඇතිව වෙළදාම් කරමින් සිට කළුරිය කල පසු මේ පළමු ප්‍රේතයා වූ බව කීවා ය. මේ වෙළෙන්දා ගේ පුත් තෙමේ මව හිත මිතුරන්ට සංග්‍රහ නො කරන්නී ය කියා යෝග්‍ය හමක් ගෙන තම මවගේ හිසට පහර දුන්නේ ය. ඔහු කළුරිය කොට විත් මේ කියූ දෙවන ප්‍රේතයා විය. ඒ මවට ගැසූ පුතාගේ බිරිඳ හැම දෙනාටම ආහාර පිණිස තිබූ මස් හොරාට කා පසුව ඇසූ කල්හි තමා එසේ නො කෑ බව ද කියා ඉදින් “මා විසින් ඒ මස කෑවේ නම් භවයක් භවයක් පාසා තමාගේ පිටෙහි මස් සිඳගෙන කන්නියක් වේවා” යැ යි බොරුවට දිවුරා ශාප කළා ය. ඒ හේතුවෙන් ඇය සිය මස් ලේ අනුභව කරන තෙවෙනි ප්‍රේතිය විය. ඒ පුතාගෙන් ගුටි කෑ මව වූ මා යම් යම් දේ ඉල්ලා ගෙන ආ කල නැති බව කියා ඉදින් තියාගෙන නැති යැ යි කියන්නේ නම් උපනූපන් තැන අසූචි කන්නියක් ම වේවා යි කීවාය. ඒ හේතුවෙන් තමා කළුරිය කොට විත් මෙසේ අසූචි කන ප්‍රේතියක් වූ බව ඕ තොමෝ කිවා ය.

(ප්‍රේත වත්ථු අට්ඨ කථා-137 පිට)

 

දෙමහල්ලන් ගේ දුක්බර කථාව

 

සංකිච්ච හිමි උකටලී වී සිවුරු හැර යන්නට සිටි සාමණේර නමකට මේ ප්‍රේත පිරිස පෙන්වන ලදී. මුලින් ම ඇත් වාහනයකින් දිව්‍ය පුත්‍රයෙක් යති. දෙවැනිව අශ්ව වාහනයකින් දිව්‍ය පුත්‍රයෙක් යති. තෙවැනිව සිව්කාවකින් දෙවඟනක් යති. ඒ හැම පසුපස ප්‍රේතයෙක් හා ප්‍රේතියක් පරුෂ වචන කියමින් ඔවුනොවුන් ගේ ඇඟ විද ලේ සැරව බොමින් අතෘප්තිමත්ව යනු ලැබේ. ඒ ගමේ ඊට ටික දිනකට පෙර උපස්ථායක පවුලක් වැසි සුළඟට ගේ බිත්ති ඇද වැටී යට වී පස් දෙනෙක් මිය ගිය හ. එනම් දෙමාපියන් හා පුතුන් දෙදෙනා ද එකම දුව ද වේ. ඒ පෙර දන් දුන් පුතුන් දෙදෙනා දිව්‍ය පුත්‍රයන් වූහ. දුව තමා ලද කොටසින් අඩක් දී දෙවඟනක් වූවා ය. ඒ දෙමහල්ලෝ දන් දෙන දරුවන්ට ඒ දීම ගැන ආක්‍රෝෂ පරිභව කොට ප්‍රේතව උපන් බව පෙන්වා දෙන ලදි. මෙය ඇසූ සාමණේර හිමි සංවේග වී බවුන් වඩා රහත් විය.

(ප්‍රේත වත්ථුපාලි නාගා ප්‍රේත වස්තුව )

 

රෑට දෙව්සැප දවාලට අපාදුක (මිගලුද්දක ප්‍රේත වස්තුව)

 

මේ ප්‍රේතයාට රෑට දෙව්සැප ලැබේ. දවල්ට බොහෝ දුක් විඳින්නට සිදු වේ. හේතුව මොහු මුව වැද්දෙක්ව සිටිය දී එක් උපාසකතුමෙක් ගේ වචනය අසා රෑ දඩයම් කිරීමෙන් වැළකී සිට දවාලට එහි යෙදෙන්නේ ය. ඔහු කළුරිය කොට වේමානික ප්‍රේතයෙකු වී ඉපිද මෙසේ රෑට සැප ලැබෙන අතර දවාලට දුක් විඳින්නෙක් වූ බව දත යුතු ය.

 

වැරදි ලෙස විනිශ්චය කිරීමේ විපාක

 

බිම්සර රජු ගේ සේවයේ නියුතු එක් පුරුෂයෙක් එක් දිනක් රාත්‍රී කාලයේ පමණක් උපෝසථ ශීලය ආරක්ෂා කොට කළුරිය කල පසු ගොස් වේමානික ප්‍රේතයෙකු වී උපන්නේ ය. හෙතෙම අඩ රැයක් සිල් රැකී පිනින් මහත් සම්පත් ලැබුවේ ය. නමුදු මනුලොවදී කේළාම් කී බැවින් ද අල්ලස් ගෙන අධිකරණ විනිශ්චය නිවැරදි ලෙස සිදු නො කළ බැවින් ද තමාගේ ම පිටෙහි මස් තමා ම අනුභව කරන්නෙකු වූ බව ප්‍රේත වස්තු අට්ඨකථාවේ 150 පිටෙහි දැක්වේ.

 

බුදුන් පුදට ගෙන යන මල් සුවඳ වැළැක්වීමේ විපාක

 

තව ද රජගහ නුවර එක් ධනවත් පුරුෂයෙක් අප බුදුරජාණන් වහන්සේ ගේ සෑය පිදීමට තම බිරිඳ හා දුව ද ලේලිය ද ගෙන යන්න හැදූ මල් සුවඳ විලවුන් වැළැක් වූ පවින් කුණු වී දුඟද හමන පණුවන් පිරි මුහුණ බිඳගෙන කන අවි ආයුධ වලින් මුහුණ නිතර තුවාල කරගනු ලබන ප්‍රේතයෙකු වූ බව ධාතුවණ්ණක ප්‍රේත වස්තුවේ දැක්වේ.

 

අභිප්‍රේත වස්තුව

 

මේ ප්‍රේතයා ගේ හිස මිනිසෙකු ගේ වැනිය. කඳ නාගයෙකු ගේ වැනි ය. මුළු ඇඟම ගිනිගෙන නිතර විලාප කියමින් දුවයි. මෙය ගිජුකුළු පව්වේදී දුටු මුගලන් හිමි බුදුරජාණන් වහන්සේ හමුවී ඒ බව ප්‍රකාශ කොට ඔහුගේ පූර්ව කර්මය විචාළේ ය. බුදුරජාණන් වහන්සේ එය වදාළ සේක. පෙර මොහු පන්සලක් අසල කුඹුරක් ඇති ගොවියෙකි. ඉදින් බොහෝ මිනිසුන් කුඹුර මැඬගෙන පන්සලට එන බැවින්, මොහු මේ පන්සල නැත්නම් මගේ කුඹුර රැකේ යැ යි සිතා පන්සල ගිනිබත් කළේ ය. මේ පවින් අවීචියේ පැසී දැන් ප්‍රේතව ඉපදී දුක් විඳින්නේ යැ යි වදාළ සේක. එබැවින් සත්පුරුෂයෙනි පවට බිය වෙත්වා.

 

විහිළුවට කළ වරදින් ගෙනදුන් විපාකය

 

පෙර එක් වෙළෙන්දෙකු තම කඩපිල සමීපයේ ඇති පාර අසල එක් මඩවගුරක් මිනිස්සුන්ට පහසුවෙන් යන්න ලැබේවා යි සිතා, මැරී කල්ගිය ගොණුන් ගේ හිස් කබල් ගෙන්වා ගෙන එය ගොඩ කළේ ය. දිනක් තම බෑනා ගේ මිත්‍රයෙක් දියෙහි බැස නාන කල්හි ඔහුගේ වස්ත්‍ර ක්‍රීඩා පිණිස විහිළුවට සැඟ වූයේ ය. පසුව නැවත දෙන ලදී. මේ වෙළදාණන් ගේ බෑණා කළ වරදකට මොහු ගේ හිස ගසා දමන ලදී. මැරීගොස් භූමාටු දෙවියෙක් විය. පොදු පාරක් සෑදු පිනෙන් වේගයෙන් යා හැකි වාහනයක් ලැබුණි. ගුණවතුන්ගේ ගුණ වර්ණනා කළ කුසලයෙන් ශරීරයෙන් සුවඳ හමන්නේ ය. නමුදු කෙළි පිණිස වස්ත්‍රය සඟවා අනුන් වෙහෙස කළ අකුසලයෙන් නග්නව උපන් බව දත යුතු ය. එබැවින් සත්පුරුෂයෙනි, විහිළුවටවත් අනුන්ව වෙහෙස කිරීමක නො කෙරෙත්වා.

(අම්බ සක්ඛර ප්‍රේත වස්තුව ඇසුරිනි)

 

අධර්මවාදීන් හා එක් වී සිල්වතුන්ට පරිභව නො කරනු

 

පෙර ඊර්‍ෂ්‍යා කරන සුලු වූ කුල මසුරු බවින් යුත් පාපී භික්ෂුවක ගේ කීම අසා එක් සැදැහැවත් දායකයෙක් සිල්වත් භික්ෂූන්ට නින්දා කළේ ය. ඔහු මැරීගොස් ප්‍රේතයෙකු වී උපන්නේ ය. දිනක් වැසිකිළි වළකින් මතුවන මෙම ප්‍රේතයා දැක ඔහුගෙන් මෙසේ වීමට හේතුව ඇසූ විට භික්ෂූන්ට මෙය කියන ලදී. ඒ ලාමක භික්ෂුව දැන් කොහි දැ යි ඇසූ විට ඒ පාපී භික්ෂුව ද තමා ගේ මෙහෙකරුවෙක් වී ශ්‍රමණ ප්‍රේතයෙකු වී සිටින බව ද මා ඒ ශ්‍රමණ ප්‍රේතයා ගේ හිස උඩ සිටින බව ද කිවේ ය. තව ද ලාමක භික්ෂුව ගේ වචන පිළිගෙන සිල්වතුන්ට නින්දා කළ දායක ප්‍රේතයා මිනිසුන් ගේ අසූචි කා ජීවත් වන අතර දායකයා නො මඟට යැවූ ශ්‍රමණ ප්‍රේතයා ඒ දායක ප්‍රේතයා ගේ අසූචි කා ජීවත් වන්නේ ය. මේ පරිද්දෙන් ම පාපී භික්ෂුවක ගේ වචන අදහා සිල්වතුන්ට නිග්‍රහ කොට ප්‍රේතියක්ව ඉපදී ඒ පවිටු භික්ෂුව ද ශ්‍රමණ ප්‍රේතයෙක් වී ඉපදී ඒ ප්‍රේත දායිකාව හිස උඩ තබාගෙන ඇගේ අසූචි කා ජීවත් වන කථාවක් ද දක්නට ලැබේ.

 

එබැවින් සත්පුරුෂයෙනි, භික්ෂුවක් නමුදු ඔබට කෙනෙකු ගැන චෝදනාවක් කල පමණින් අදහා අනුන්ට දොස් නගා අපාගත නො වෙත්වා.

(ප්‍රේත වස්තු ප්‍රකරණයේ ගූථ ඛාදක, ගූථ ඛාදිකා ප්‍රේත වත්‍ථු)

 

බිම්බිසාර රජු ගේ 84000 ක් ඥාතීන් ප්‍රේතයෝ වීමට හේතුව

 

ඵුස්ස බුදු සමයේ දී ඒ ප්‍රේතයෝ දුප්පත් මිනිසුන් වී සිටි අතර ඔවුන් රජුට සේවය පිණිස රජ නිවසේ මහ සඟරුවනට දානය සකසන්නට යෙදිනි. මේ අතර ඔවුන් ගේ අසරණ දරුවන් ආහාර ඉල්ලා අඬන්නට වන්හ. මුල් කාලයේ සඟුන් වළදා අවසන් කල ඉතිරි වූ ආහාර දුන් නමුදු පසු කාලයේ මහ සඟරුවන සඳහා සකස් කරන භෝජනය මහ සඟරුවන වැළදීමට පෙර දරුවන්ට දුන් අතර පසුව සැක බිය අඩු වී ඔවුන් ද අනුභව කරමින් දාන ශාලාවට ද ගිනි තැබු හ. මෙයට සම්බන්ධ සියල්ලෝ ම නිරයෙහි ඉපිද දුක්විඳ ඉන් චුතව ප්‍රේතව උපන්නා හ. පසු කාලයක බිම්බිසාර රජු දානයක් දී පින් දී ඔවුන් සැපවත් කලා. බලන්න පින්වත්නි, බුද්ධාන්තර හතක් ම දුක් දුන් කර්මයක හැටි.

 

සත්පුරුෂයෙනි, තව දැක්විය යුතු බොහෝ කථා ඇතත් මෙහිලා කෙටි කරමි. මසුරු බව හේතුවෙන් ප්‍රේතව ඉපිද ඇති කථා බොහෝ ය. එය සමාජයේ කවුරුත් දන්නා කරුණක් බැවින් මෙහි ඇතුලත් නො කළෙමි. ප්‍රේත ලෝකයේ දුක් විඳ ඉන් චුත වී සමහරු අසුර ලෝකවල ඉපදේ. සමහරු තිරිසන් යෝනිවල ද ඉපදේ. අසුරයෝ ද කොටස් පහක් වේ.

 

කය වචනය අසංවර වීමේ විපාකය

තව ද කයින් වචනයෙන් වැරදි කරන්නවුන්ට මුලින් ම නිරයෙහි ඉපිද දුක් විඳීමට සිදුවන අතර ඉන්පසු තිරිසන් ලෝකයේ ද ප්‍රේත ලෝකයේ ද ඉපිද දුක් විඳීමට වේ. මනුලොව ඉපදුන විට ප්‍රධාන වශයෙන් පහත සඳහන් දුක්ඛයන්ට මුහුණ දීමට සිදු වේ.

 

o   සතුන් මැරීම බහුල ලෙස කළේ නම් අල්පායුෂ්ක වේ.

o   සොරකම බහුල ලෙස කළ පුද්ගලයෝ මනුලොව දී භෝග ව්‍යසනයට පත් වේ.

o   කාමය වරදවා හැසිරීම බහුල ලෙස කළ පුද්ගලයෝ මනුලොව දී බොහෝ සතුරන් ඇත්තෝ වන්නා හ.

o   බහුල ලෙස බොරු කී පුද්ගලයෝ මිනිස් ලොව දී අභූත චෝදනා වලට ලක් වේ.

o   නිතර කේළාම් කී පුද්ගලයෝ මිනිස් ලොව දී මිතුරන් සමග නිතර භේද භින්න (තරහා) වන්නෝ වෙත්.

 

o   පරුෂ වචන බහුල ලෙස කී පුද්ගලයන්ට මනුලොව දී අමනාප වූ කටුක වූ කර්කශ වූ ශබ්දයෝ ම අසන්නට ලැබෙත්.

o   නිතර හිස් වචන බහුල ලෙස කී පුද්ගලයන්ට මනුලොව දී නොම අදහන, නො පිළිගන්නා වචන ඇත්තෙක් වේ.

o   මත්පැන් බීම බහුල ලෙස කළ පුද්ගලයෝ මනුලොව උන්මත්තකයකු වී හෝ විසුරුණ සිත් ඇත්තෙකු හෝ දිශා විදිශාවක් තේරුම් ගත නො හැක්කෙකුව වී හෝ ඉපදේ.

(අං. නි අට්ඨක නිපාතයේ දාන වර්ගයේ සංවත්තනික සූත්‍රය)

 

මසුරු ධර්ම පහෙහි අඳුරු විපාක

 

තව ද පඤ්ච මච්ජරිය (මසුරු) ධර්මය අතුරින් ආවාස මච්ජරිය (තමා වාසය කරන තැන කෙරෙහි මසුරු වීම) හේතුවෙන් යක්ෂයෙක් හෝ ප්‍රේතයෙක් හෝ වී එම ආවාසයා ගේ ම කසල හිසින් ගෙන හැසිරෙන්නෙක් වේ.

 

කුල මච්ජරිය (කුලය කෙරෙහි මසුරුකම) හේතුවෙන් ඒ කුලයේ මිනිසුන් විසින් අන්‍යයන්ට දානමානාදිය දෙන කල්හි දැක “ ඒකාන්තයෙන් ම දැන් මේ කුලය මා කෙරෙහි බිඳෙන්නේ යැ යි ” සිතනුයේ ලේ හෝ මුඛයෙන් නික්මෙත්. කුසවිරේකයක් හෝ වෙයි. බඩවැල හෝ කැඩි කැඩී නික්මෙත්. ලාභ මසුරු කමින් සංඝයා ගේ හෝ ගණයා ගේ සන්තක ලාභයෙ හි මසුරු බව කොට, පුද්ගලික පරිභෝගයක් මෙන් පරිභෝග කොට යක්ෂයෙක් වී හෝ ප්‍රේතයෙක් වී හෝ මහා පිඹුරෙක් වී උපදිත්.

 

ශරීර වර්ණය හෝ ගුණ වර්ණය හෝ පරියාප්ති ධර්මය පිළිබඳව හෝ මසුරු වී තමා ගේ ම ගුණ කියයි. අන්‍යයන් ගේ ගුණ කියන කල්හි ඔවුන් ගේ කුමන ගුණයක් දැ යි කියන යම් යම් දෝෂ කියෙනුයේ ද, පරියාප්ති ධර්මය ද කිසිවක් (ඇසුවොත්) කියා නොදන්නේ වේ ද හෙතෙම දුර්වර්ණ වී ද දිශා විදිශා ආදී ව්‍යවහාර මාත්‍රය පවා නො දන්නා ජාතිවලම උපදියි.

 

තව ද ආවාස මසුරු බව හේතුවෙන් ලෝහ ගෙයෙහි පැසෙන්නට වේ. කුලය කෙරෙහි මසුරු බව හේතුවෙන් අල්ප ලාභ ඇත්තෙක් වේ. ලාභය කෙරෙහි මසුරු බව හේතුවෙන් ගූථ නිරයෙහි උපදියි.

වණ්ණ මච්ජරිය හේතුවෙන් භවයෙහි උපන්නාහුට වර්ණයක් නම් නො වේ. ධර්ම මච්ජරිය හේතුවෙන් කුක්කුළ නිරයෙහි උපදියි යැ යි අත්ථසාලින නම් ධර්ම සංඝණිප්පකරනට්ඨ කථාවේ 317 පිටෙහි දක්වා ඇත.

 

පව්කළ සත්වයෝ ඉහත කී සතර අපායෙහි ඉපිද අපමණ දුක් විඳ යම් හෙයකින් පසු කලෙක මිනිසත් බවත් ලද හොත් මෙහිදී ද නිවන් දැක පිරිනිවන් පාන තුරුම අඳුරු විපාක ගෙන දෙනු ලැබේ. මනු ලොවදී එසේ කර්ම විපාක දෙන්නට යෙදුන කථා කිහිපයක් මෙහි දක්වන්නෙමි. මේවා හොඳින් දැන ඉගෙන සියළු සත්වයෝම පාපයෙන් මිදෙත්වා. කුසල ධර්මයන්හි අප්‍රමාද වෙත්වා.

 

මිනිස් ලොවදී විපාක දුන් පූර්ව කර්ම

ඛුජ්ජුත්තරාව දාසියක් වීමට හේතුව

ඛුජ්ජුත්තරාව බොහෝ ම ධර්ම කථික කාන්තාවක් වුව ද ඇය උදේනි රජ නිවසේ දාසියකි. ඊට හේතුව පෙර කාශ්‍යප බුදු සසුන කාලයේ දී මැය සිටු දියණියක්ව ඉපිද දිනක් නිවසට වැඩි රහත් සාමණේර තෙරණියකට දුර තිබූ රන් ආභරණ පොදිය තමා සමඟ හිතවත් බැවින් අරන් දෙන්න යැ යි කියා වැඩගත් පවින් බව දත යුතු ය. ඒ හේතුවෙන් ආත්ම 500 ක්ම දාසියක් වී ඉපදුනා ය. එබැවින් පින්වත්නි, භික්ෂුණී කොතරම් හිතවත් වුවත් කල්පනාවෙන් ඇසුරු කළ යුතු ය.

(මනෝරථපූරණී අටුවා - 238 පිට)

 

ඛුජ්ජුත්තරාව කුදු වීමට හේතුව

 

ඛුජ්ජුත්තරා උපාසිකාව තරමක් කුදු ශරීරයක් ඇති උවසියකි. එසේ වුවත් උදේනි රජුගේ සාමාවතිය ඇතුළු 500 ක් බිසෝවරුන්ට ධර්මය දෙසා සෝවාන් ඵලයෙන් නිවන් සැප ලබා දුන්නා ය. ඒ පිරිසට ධර්මය ඉගැන්වීම ද කළා ය. ඇය කුදුව ඉපදීමට හේතුව පෙර ධනවත් පවුලක කුමාරිකාවක් ව සිටිය දී මඳක් කුදු පසේ බුදුන් වහන්සේ නමක් දැක කෙලිකවට සිතින් දඟකාරකමට පසේ බුදුන් වැඩියේ මෙහෙමයි කියා අන් පරිවාර කාන්තාවන්ට ගිය අයුරු ඇදකොට (කුදු ආකාරය) පෙන්වී ය. ඒ පවින් ඇය කුදු වී උපන් බව දත යුතු ය.

(අංගුත්තර නිකායට්ඨකථා 233 පිට)

 

චුල්ල පන්ථක හිමිට සිවු මසක් ගත වී ද එක් ගාථාවක් පාඩම් නො වීමට හේතුව

 

උන්වහන්සේ මහා පන්ථක හිමි ගේ බාල සහෝදරයා ය. පැවිදි වී සාර මසක් ගත වී නමුදු එක් ගාථාවකුදු පාඩම් කර ගැනීමට බැරිව අසරණ විය. ඊට හේතුව පෙර කාශ්‍යප බුදු සසුනෙ හි පැවිදිව නුවණැත්තෙක් වී ගෝල පිරිසට ධර්මය කියා දෙන විට ඉගෙන ගැනීමට අපහසු නූගත් මෝඩ භික්ෂුවකට කවටකම් කළේ ය. ඒ භික්ෂුව එයින් ලැජ්ජාවට පත්ව ධර්මය නොම කියවා ගත්තේ ය. ඒ අකුසල කර්මයෙන් මේ ජීවිතයේ පැවිදි වී නමුදු නූගතෙක් විය. පසුව බුදු කරුණාව නිසා පෙර පිරූ පාරමී මතු කරගෙන රහත් වී අසූ මහා ශ්‍රාවකයන් අතර එක් නමක් විය.

(ධම්ම පදට්ඨ කථා 152 පිට)

 

පින්වත්නි! අදට ද සමාජයේ නූගතුන් ඇත. මේ රහත් හිමිනමකට විහිළු කිරීමෙන් විපාක දුන් කර්මයකි. එබැවින් උගත් වූ බුද්ධිමත් වූ ඔබ විහිළු තහළු කිරීමෙන් වැළකෙත්වා.

 

චක්ඛුපාල හිමියන් ගේ දෙනෙත් අන්ධවීමට හේතුව

 

මේ ස්වාමීන් වහන්සේ පෙර දක්ෂ වෛද්‍යවරයෙක්ව සිටිය දී “මාගේ දෙනෙත් සුව කළොත් මම දූ පුතුන් සමඟ ඔබගේ දාසියක් වෙමියි” කී එක් අන්ධ කාන්තාවකට බෙහෙත් කොට දෑස සනීප කළේ ය. ඇය සනීප වූ පසු දාසියක් වීමට අකමැතිව ඇස් නො පෙනෙන බව වෛද්‍යවරයාට කීවා ය. කරුණු වටහාගත් ඔහු කෝප වී දූෂිත සිතින් දෑස් අන්ධ වන බෙහෙතක් ගැල්වීමට දුන්නේ ය. එය ගැල්වූ විට ඇගේ දෙනෙත් සහමුලින් ම අන්ධ විය. එම අකුසලය බොහෝ වාර ගණනක් විපාක දී මේ රහත් වූ ජීවිතයේදී ද මහාපාල හිමි ගේ දෑස් අන්ධ වී චක්ඛුපාල හිමි යැයි ප්‍රසිද්ධ වූ බව දත යුතු ය.

(ධම්ම පදට්ඨ කථා -12 පිට)

 

බිම්බිසාර රජු ගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව

 

මගධාධිපති බිම්බිසාර රජු ඔහු ගේ පුත් වූ අජාසත්ත කුමරු විසින් සිරකරවා යටිපතුල් පලවා තෙල් ලුණු ගිල්වා ගිනි ගෙන දිලෙන කිහිරි අඟුරින් පිලිස්සුවේ ය. නොයෙක් වධ දෙන ලදි. මේ සෝවාන් රජු ට මෙසේ දුක් විඳීමට හේතු වූයේ පෙර භවයක චෛත්‍යය මළුවෙහි වහන් පයලා යෑම හා ඉඳගැනීමට එලූ පැදුරක් නො සේදූ පයින් පෑගීම බව සුමංගලා විලාසිනි අටුවාවේ සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාවේ පෙන්වා ඇත.

 

බිහි වූ දිනම කසළ ගොඩකට දමන ලද අසරණ දරු ජීවිතයක ශෝකාකූල කථාව

 

මෙතුමා කිලිටි කර්ම කොට ජීවත් වන නගර සෝභනියක ගේ කුස ඉපදුනේ ය. ඇය දරුවා බිහි කළ දිනයේ පිරිමි දරුවෙකු බව අසා කෙනෙකු ලවා මේ කිරි කැටි බිළිඳා සොහොනෙ හි දමන ලදි. නමුදු කිසිම සතෙකුගෙන් හිංසාවක් නො වීය. දෙවියන් රැකවරණය දෙන ලදි. පසුව තථාගතයන් වහන්සේ බුදු ඇසින් දැක එහි වැඩි සේක. මිනිසුන් ද එහි රැස් වූහ. එහිදී මේ දරුවා පෙන්වා මොහු ගේ අනාගත වාසනාව ද පෙන්වා මෙසේ වීමට පූර්ව කර්මය ද වදාළ සේක. පෙර සැවැත් නුවර බොහෝ උපාසක පිරිසක් එකතුව මහත් දානයක් දෙන ලදි. මෙය දුටු මසුරු පුරුෂයෙක් “මේ මුඩු මහණන්ට මේවා දුන්නාට වඩා මේ සියල්ල කසළ ගොඩකට දැම්මේ නම් උතුම් වේ” යැ යි කියන ලදි. පසුව මවගේ කීම නිසා සමාවගෙන දින හතක් මහත් කැඳ දානයක් දුන්නේ ය. මොහු මිය ගොස් පෙර කී සේ ගණිකාවක ගේ කුස ඉපිද ඇය විසින් බිහි වූ දින ම මොහුව කසළ ගොඩකට දැම්ම වූ බව දත යුතු ය.

(කුමාර ප්‍රේත වස්තුව 3-5)

 

දෙමාපියන් විසින් අතහැරදා ගිය ඝෝසක සිටු

 

පෙර එක දිවියක ඝෝසක ධනවතෙකුව සිටිය දී අභිවාතක රෝගයෙන් ඒ නගරය පෙලුණු බැවින් බිරිඳ හා එකම දරුවා ද රැගෙන දිවි ගලවා ගැනීමට වෙන රටකට යෑමට පිටත් විය. කාන්තාරයක් හරහා යන විට ගෙන ගිය ආහාර පාන ද ඉවර වී දුක් විඳිමින් යද්දී පුතු වඩාගෙන යාමට බැරි බැවින් පසුව වෙනත් පුතෙක් හදාගත හැකි යැ යි සිතා දරුවා අතහැර දමා ගියේය. පසුව බිරිඳ ගේ විලාපය නිසා දරුවා නැවත ගෙනා නමුදු දරුවා අතහැර දා ගිය කර්ම බලයෙන් ඔහුව හත් වාරයක් ම පිරිස් විසින් මරා දැමීමට ගොස් අතහැර දමන ලදි. පෙර සුනඛයෙක් වී සිටිය දී වනයේ දී බුරා වන සතුන්ගෙන් පසේබුදු කෙනෙකුන් මුදවාගත් පිනින් හත්වාරයේ ම මරණින් අත් මිදුන නමුදු මව්පිය සෙනෙහස අහිමි වුණා. අද ද මාපිය සෙනෙහස අහිමි වූ දරුවන් කොතෙක් සිටිනවා ද?

(ධම්ම පදට්ඨ කථා - 105 පිට)

 

සාමාවතිය ඇතුළු 500 ක් ස්ත්‍රීන් ගින්නෙන් මැරෙන්න හේතුව

 

උදේනි රජු ගේ අග්‍ර මහේසිකාව වූ සාමාවතිය ඇතුළු පරිවාර ස්ත්‍රීන් 500ක් දෙනා ද සමඟ මාළිගය පිටින් ම ගිනිගෙන මරණයට පත් විය. මේ ගින්න ඇති කළේ මාගන්ධියා නම් බිසව ගේ කීමට ඇගේ මාමා ඇතුළු පිරිසක් ය. කෙසේ නමුදු මෙසේ අවාසනාවන්ත ලෙස මැරෙන්නට හේතුව පෙර සාමාවතිය රජ බිසවක්ව සිටිය දී මේ 500ක් කාන්තාවන් ද පිරිවාර ස්ත්‍රීන් වූ අතර මේ හැමදෙන දිනක් දිය කෙළියට ගොස් හවස් වන තුරු ම දිය ක්‍රීඩා කොට පසුව ගිනි තැපීමට දර ආදිය බලා ගං ඉවුරේ තෘණ ලැහැබක් දැක එහි පසේබුදු කෙනෙකුන් සිටින බව නො දැක ගිනි තැබුවා ය. ගිනි ගොඩ මැද පසේබුදු හිමි දිස්වන විට බියට පත් වී රජු මෙය දැනගත හොත් මහා විපතක් වේ යැයි බියෙන්, වධක චේතනා ඇතිව ම මේ පසේබුදු රජු හොඳට ම දවමු යැ යි නැවත ගිනි තැබූහ. පසේබුදු රජුන් සමවතින් සිටි බැවින් කිසිම අපහසුවකට පත් නොවී පසුව අහසින් වැඩි සේක. නමුදු දූෂිත සිතින් ගිනි තැබූ පවින් නිරයේ පැසී ශේෂ විපාක ලෙස ආත්ම භාව සීයක් ම මෙලෙසින් ගෙය තුළ හිරවී දැවී මිය යන්නට වූ බව තථාගතයන් වහන්සේ වදාළේ ය. එබැවින් පින්වත්නි, අකුසලයට බියවෙත්වා.

(අංගුත්තර නිකායට්ඨ කථා - 240 පිට)

 

පූතිගත්ත තිස්ස හිමි ගේ සිරුර කුණු වී දුක් විඳීමට හේතුව

උන් වහන්සේ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ පක්ෂි වැද්දෙක්ව බොහෝ පක්ෂීන් මරා විකුණමින් ජීවත් විය. එසේම පියාසර කරන්න නො හැකි සේ පක්ෂීන් ගේ කෙණ්ඩා ඇටත් පියාපත් ඇටත් කඩා ගොඩ ගසා තබයි. පක්ෂීන් කුණු වී ද යයි. මෙසේ සතුන්ට දුක් දුන් පවින් සසර බොහෝ දුක් විඳ නිවන් දකින ආත්මයේ දී ද ඇට සන්ධි වලින් ගැලවී කැඩී ගත කුණු වී එක් තැන් වී දුක් විඳින්න වූයේ ය. එබැවින් නිවන් දකින ජාති දක්වා ම මෙවන් පාප කර්ම නො කිරීමට අධිෂ්ඨාන කර ගනිමු.

(ධම්ම පදට්ඨ කථා 199 පිට)

 

සෝරෙය්‍යක සිටු ගේ අද්භූත කර්මය

 

සෝරෙය්‍යක සිටු පුත්‍රයා දෙදරු පියෙකි. දිනක් යාළුවන් සමඟ නාන්න යන විට මහා කච්චායන මහ රහතන් වහන්සේ ගේ රන්වන් පාට දේහ සම්පත්තිය දැක රාග සිත් පහළ කොට මුන් වහන්සේ මාගේ බිරිඳ හෝ වන්නේ නම් මැනවි, නැත්නම් මාගේ බිරිඳ ගේ සිරුර, මුන් වහන්සේ ගේ සිරුරේ පැහැය වන්නේ නම් මැනවි යැ යි සිතීය. ඒ අඥාණ දූෂිත සිත සමඟ ම ඔහුගේ පුරුෂ නිමිති අතුරුදහන් වී ස්ත්‍රී නිමිති පහළ විය. පසුව ලැජ්ජාවෙන් තක්ෂිලා නුවරට පැන ගොස් එහි සිටු කෙනෙකු ගේ බිරිඳ වී දරු දෙන්නෙක් ද ලොවට බිහි කළා ය. පසු කාලයක මහා කච්චායන මහ රහතන් වහන්සේගෙන් සමාව ගත් පසු නැවත පුරුෂයෙක් විය. පසුව පැවිදිව රහත් විය. රහතුන් කෙරෙහි සිතන වැරදි සිතිවිල්ල ද දුකට පත් කරන බව මින් දත යුතු ය.

(ධම්මපද අට්ඨ කථා 201 පිට)

 

සප්පදාස හිමි නයකු ගේ කටේ අතදමා ද නාගයා දෂ්ඨ නො කිරීමට හේතුව

 

මේ ස්වාමීන් වහන්සේ පැවිදි ජීවිතය ගත කිරීමට අපහසු යැ යි කලකිරී සිය දිවි නැති කරගන්න සිතා භික්ෂූන් ගිනිහල් ගේ සිටි නාගයෙක් කළයක දමා ගෙන යන විට තමා බැහැර කරන්නන් කියා ඉල්ලා ගෙන නාගයා ලවා දෂ්ඨ කරවා ගැනීමට කළයට අත දමා, උගේ මුඛයේ අත දැම්ම ද දෂ්ඨ නො කළේය. භවයෙන් වැසී තිබූ නාගයා දෂ්ඨ නො කිරීමට කරුණ තථාගතයන් වහන්සේ පහදා දුන් සේක. මේ නාගයා මෙයින් තෙවන අත්භවයෙ හි මේ භික්ෂුවක ගේ දාසයෙක් විය. එබැවින් ඒ නාගයා මොහු එදා ස්වාමියා යැ යි දැනී ගොස් දෂ්ඨ නො කළ බව වදාළ සේක. මිනිසුන්ට නො තේරෙන සමහර දෑ සතුනට වැටහේ.

(ධම්ම පදට්ඨ කථා 417 පිට)

 

සප්පදාස හිමි උකටලී වූයේ මහණකම එපා වූයේ ඇයි?

 

මේ ස්වාමීන් වහන්සේට මහණකම එපා වී සියදිවි හානි කරගන්නට ද සිතිණේ ය. ඒ සඳහා වෑයම් කළේ ය. සර්පයෙකු ලවා දෂ්ඨ කරවාගෙන මැරෙන්නට උත්සහ ගෙන නො හැකි වූ විට දැලි පිහියක් ගෙන කැලේට ගොස් ගෙල සිඳ ගැනීමට තැත් කළේ ය. ඒ මොහොතේ දී සීලය මෙනෙහි වී පිරිසිදු සීලයක් රැක තිබුණු බැවින් සතුට ඉපදී එය විදර්ශනාවට නංවා රහත් විය. මේ රහත් වීමට පින ඇති හිමි බුදු සසුනේ ලද පැවිදි ජීවිතය කලකිරීමට හේතුව තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. මේ හිමියෝ කාශ්‍යප බුදු සසුනේ පැවිදි වී සිටිය දී එක හිමි නමක් සිවුරු හැර යන්න හදන විට ගෙහිගෙයි දෝෂ කියා වළක්වන ලදි. පසුව එම හිමි සිවුරු හැරියේ නම් මේ සියළු පිරිකර ඔබ වහන්සේට දී යෑමට සිතුවේ යැ යි කී විට ඒ සිවුර පිරිකර ගැන ආශාවෙන් නැවතත් පැවිදි ජීවිතයේ දුක කියා ගිහි අය විඳින සැප වර්ණනා කළේ ය. ඒ භික්ෂුව මොහු පිරිකර ආසාවෙන් එසේ කියන බව දැන සිවුරු හැර නො ගියේ ය. නමුදු උන් වහන්සේ ලාමක වූ දූෂිත පහත් සිතින් කළ කර්මයට දුක් විපාක දී මේ නිවන් දකින ආත්මභාවයේ දී ද මහණ ජීවිතය එපා වූ බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

(ධම්ම පදට්ඨ කථා 417 පිට)

 

නාවිකයා ගේ බිරිඳට මුහුදේ ගිලී මැරෙන්න වූයේ ඇයි?

 

දිනක් භික්ෂූන් හා මිනිසුන් නැගී එන නැවක් හිටි හැටියේ ම මුහුද මැද නතර විය. පරීක්ෂා කළේ ද කිසිදු යාන්ත්‍රික දෝෂයක් නො වීය. නමුත් නැව ඉදිරියට නො යන්නේ ය. අවසානයේදී මෙහි කවුරු හෝ අවාසනාවන්තයෙකු, කාලකණ්ණියෙකු සිටින්නේ දැ යි කුසපත් ඇද බැලීය. අවාසනාවන්ත කුසපත ලැබුණේ නාවිකයාගේ බිරිඳට ය. තුන්වතාවක් ම කාලකණ්ණි කුසපත ඇයට ලැබුණු බැවින් නාවිකයා ගේ ද කැමැත්ත ඇතිව ඇගේ බෙල්ලේ වැලි කලයක් එල්ලා මුහුදට දමුහ. පසුව නැව පණගන්වාගෙන ගොඩබිමට ආහ. භික්ෂූහු මෙහි පූර්ව කර්මය තථාගතයන් වහන්සේගෙන් විමසූ හ. මේ කාන්තාව මීට පෙර රූමත් කාන්තාවක්ව සිටියා ය. ඊට ආත්ම තුනකට පෙර ඇගේ ස්වාමි පුත්‍රයා ඒ නිවසේ සුනඛයෙක් විය. අහෝ සසර හැටි! පූර්ව සෙනෙහස නිසා ඇය යන යන තැනට සුනඛයා ද යයි. ගම්හූ ඇයට මේ සුනඛයා පස්සෙන් ඒම ගැන පද හදා විහිළු කළහ. ලැජ්ජාවට පත්වූ ඇය සුනඛයා ගේ ගමන වලක්වන්නට නො හැකිව වැලි කලයක් බෙල්ලේ බැඳ දියේ ගිල්වා බල්ලා මැරීය. මේ පවින් අපා ගත වී ශේෂ කර්ම ලෙස ආත්මභාව 100ක් ම ගෙල බැඳි වැලි කලයක් ඇතිව ම දියේ ගිලී මැරෙන්නට සිදු වූ බව වදාළ සේක. එබැවින් සත්පුරුෂයෝ අනුවණයන් ගේ නින්දාවට බියවී පව් කම් කොට මහත් දුකට පත් නො වේවා!

(ධම්මපද අට්ඨකථා 452 පිට)

 

ගිනිගෙන දැවුනු කපුටා ගේ කථාව

 

දිනක් සැවත් නුවර නිවසක් ගිනි ගෙන, ගිනි සහිත තෘණ හුලක් අහසට නැගී පියාසර කරන කපුටෙකු ගේ ඇඟට වැටිනි. කපුටා ඉන් බේරීමට අසමත්ව ගිනිගෙන දැවී මැරී වැටුණේ ය. මෙය දුටු භික්ෂු පිරිසක් තථාගතයන් වහන්සේගෙන් මෙහි පූර්ව කර්මය විචාළ හ. මේ කපුටා පෙර ගොවියෙක්ව සිටිය දී කුඹුර මැඬවීමට සිටි ගොනා බොහෝ කම්මැලි බැවින් මෙයට කිපුණු ගොවියා පිදුරු ගොඩක් ගෙන ගවයා පිදුරු වලින් වෙලා පිදුරුවලින් යටකොට ද්වේශයෙන් ගිනි තැබුවේ ය. ඒ අසරණ තිරිසනා දැවී මළේ ය. මේ මිනිස් සතා කල තිරිසන් කර්මය බොහෝ අපා දුක් ගෙන දුන්නේ ය. අවශේෂ කර්ම ලෙස තිරිසන්ව ඉපිද මේ පස්වන වතාවට ද මෙසේ දැවී මළේ යැ යි වදාළ සේක. එබැවින් මිනිසත් බව ලැබූ ඔබ මෙ බඳු තිරිසන් කර්ම කොට දුකට පත් නො වේවා!

(ධම්මපද අට්ඨ කථා 452)

 

භික්ෂූන් හත් නමක් ගල් ලෙනක සිරවී දුක් විඳි කථාව

 

බුද්ධ දර්ශනයට එන භික්ෂූන් හත්නමක් අතර මඟ රාත්‍රියක එක් විහාරයක ගල් ලෙනක නවාතැන් ගෙන සිටිය දී, ගලක් ගැලවී විත් ලෙන් දොර වැසුණේ ය. දින හතක් එළියට ආ නො හැකිව ආහාර පාන ද නො මැතිව දුකට පත් වන්නට විය. පසුව එළියට විත් කිහිප දිනකින් බුද්ධ දර්ශනයට ගොස් එහිදී මෙසේ වීමට පූර්ව කර්මය කුමක් දැ යි ශාස්තෘන් වහන්සේගෙන් විචාළ හ. එහිදී මේ භික්ෂූන් හත් නම පෙර ගොපළු දරුවන් වී සිටිය දී තලගොයෙකූ තුඹසක සිරකර තැබූ පවින් මෙසේ ආත්මභාව දාහතරක් ම ආහාර පාන කිසිවක් නොමැතිව දින 07 ක් ගල් ලෙනක සිරවී දුක් විඳි බව වදාළ සේක.

(ධම්මපද අට්ඨ කථා 453 පිට)

 

ලද සම්පත් පරිභෝග කිරීමට වාසනාවක් නැති අපුන්තක සිටු

 

සැවැත් නුවර සිටුවරයෙක් වූ මොහුට විශාල සම්පත්තියක් අයිතිව තිබුණේ ද කිසි ම දිනක හොඳ වස්ත්‍රයක් නො ඇඳ ඇන්ඳේ වැරහැලි ය, ප්‍රණීත භෝජනයක් අනුභව කිරීමට, හොඳ රථයක ගමන් කිරීමට සිතක් පහළ නො වීය. අන්ත අසරණ දිළින්දෙකු මෙන් වාසය කොට කළුරිය කළේ ය. මෙසේ මේ සිටාණන්ට තම සම්පත් පවා පරිභෝග කිරීමට සිත නො නැමුණේ පෙර මොහු සිටුවරයෙක්ව සිටිය දී තගරසිඛී නම් පසේබුදු රජුන් දැක තම බිරිඳට උන්වහන්සේට දානය දෙන්න යැ යි පවසා නිවසින් බැහැරව ගොස් නැවත එන අතර මඟදී පසේබුදු හිමි මුණ ගැසී නිවසින් දානය ලැබුණේ දැ යි අසමින් පාත්‍රයට එබී බැලුවේ ය. තම බිරිඳ පූජා කර ඇති ප්‍රණීත දානය දැක මසුරුකම නිසා අසතුටු විය. මොහු දානය දෙන්න යැ යි තම බිරිඳ යෙද වූ පිනින් දෙව්ලොව සත්වරක් ඉපදුන අතර සත්වරක් මනු ලොව සිටුවරයෙක් විය. දානය දී පසුව සතුටු නො වී කළකිරුණු බැවින්, පසුතැවුනු බැවින් වස්තුව ලැබුණේ ද පරිභෝග කිරීමේ පිනක් නො වීය. එබැවින් මෙය දැන ත්‍රිවිධ චේතනාව ම පිරිසිදු කරගෙන කුසල් කෙරෙත්වා!

(සංයුක්ත නිකාය - දුතිය අපුන්තක සුත්ත)

 

පිනට පහළ වූ උක්ගස් දඬුවම් දුන් කථාව

 

ලෝභී පුද්ගලයෙක් මියගොස් ප්‍රේත ලෝකයෙ හි උපන්නේ ය. මොහුගේ පිනකට උක් වනයක් ද පහළ විය. මේ ප්‍රේතයා සා පිපාසාවෙන් මිරිකී උක් දඬුවක් කපා අනුභව කරමි යැ යි උක් වනයට යයි. උක් වනයට ගිය විට එහි ඇති උක් දඬු තෙමේ ම නැමී ඇඹරී අවුත් මේ ප්‍රේතයාට පහර දෙන්නේ ය. ඔහු විළාප කියමින් දුවන්නේ ය. දිනක් එතැනින් වැඩි හිමි නමකට මොහු ගේ බැගෑපත් හඬ දිවකණට ඇසී කරුණු විමසා තතු දැන මොහුට උක් දඬු කෑමට කපා ගත හැකි ක්‍රමයක් කීවේ ය. උක් දඬුවලට මුහුණ නොදී පිටුපාගෙන උක් දඬු ගන්න යැ යි කීවේ ය. එහිදී එසේ ගෙන සා පිපාසාදී දුක නිවා ගත්තේ ය. මෙසේ වීමට හේතුව පෙර ආත්මයක උක් දඬු මිටයක් කර තියාගෙන උක් දණ්ඩක් සපමින් මාර්ගයේ යන විට අසරණ මිනිසෙක් මෙය දැක උක් ගසක් ඉල්ලමින් පසුපස ආවේ ය. එවිට කෝපයෙන් උක් දණ්ඩක් ඇද නො බලා ම ඔහු දෙසට විසි කළේ ය. මෙසේ නමුදු දීම නිසා උක් වත්තක් ලැබුණේ ය. නමුත් මුහුණලා ගොස් උක් දඬු ගැනීමට පින නැතැයි මේ කර්මය වදාළ සේක.

(ප්‍රේත වත්ථු පාළි - උච්ජු ප්‍රේත වත්ථුව)

 

රහත් වූ වේද පිරිනිවෙන තුරු කුස පිරෙන්න ආහාරයක් නො ලද ලෝසක හිමි

 

සිඟමනින් ජීවත් වූ කුඩා දරුවෙක් සැරියුත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පැවිදි කල අතර මොහු නමින් ලෝසක හිමි විය. ඒ හිමිට කිසි දිනක කුස පිරෙන්නට ආහාරයක් ලැබුණේ නැත. ඒ හිමියන් සමඟ වැඩියොත් සැරියුත් හිමියන්ටවත් දානය ලැබෙන්නේ නැත. එතරම් අවාසනාවන්ත වුවත් පෙර පිරූ පාරමී තිබූ පින් බලයෙන් රහත් විය. නමුත් දානය බෙදන්න මිනිසුන් ගෙනෙන විට පාත්‍රය පිරී දානය තිබෙන සේ පෙනුන ද දානය බෙදුවේ ද ඒවා වියළී යයි. ජීවත්වීමට පමණක් ස්වල්පයක් ඉතිරි වේ. පිරිනිවන්පාන තුරු කුස පිරෙන්න ආහාරයක් නො ලැබුණේය. මෙය දැනගත් සැරියුත් හිමියෝ පිරිනිවෙන දිනයේ ප්‍රණීත දානයක් භික්ෂුවක් අතේ එවන්නට යෙදුණා. දානය ගෙනා භික්ෂුව එය මඟදී වළඳා එය ද නො ලැබුණි. මෙය දැනගත් විට සැරියුත් හිමියෝ සංවේග වී චතුමධුර පාත්‍රයක් ගෙන තම අතේ තිබිය දී ම ලෝසක හිමිට එය වළදන්නට දුන්නේ ය. මෙදින මුළු ජීවිත කාලයේ ම කුස පිරෙන්න ආහාරයක් ලත් දිනය විය. මේ හිමිගේ පූර්ව කර්මය බුදු නුවණින් දැක මෙසේ වදාළේ ය.

 

මේ ලෝසක හිමි කාශ්‍යප බුදු සසුනේ පැවිදිව හොඳින් සිල් ගුණ පුරමින් භාවනා කළේ ද ලාභාශාවෙන් රහත් හිමි නමක ගේ සිව්පසය වැළකුවේ ය. තම දායකයෝ එම රහත් හිමිට සිව්පසයෙන් සලකන විට කැමති නො වුණි. රහත් හිමිට දෙන්න යැයි දුන් කිරිබත් පාත්‍රය ද තරහ සිතින් ගිනි අඟුරෙහි ලා පුළුස්සා දැම්මේ ය. මේ දූෂිත කර්මයෙන් අපායෙහි ඉපිද අවුරුදු ලක්ෂ ගණනක් දුක් වින්දේ ය. ආත්ම පන්සීයක්ම පිළිවෙලින් යක්ෂයෙක් වී ඉපදුනි. ඒ ජාති පන්සීයෙහි ම බඩපුරා කෑවේ එක ම දවසක ය, කෑවේ ද ගැබ්මළ ගොඩකි. එයින් පසු තවත් ආත්ම පන්සීයක් ම සුනඛව ඉපදුණි. ඒ ජාති පන්සීයෙහි ම බඩ පුරා කෑවේ එකම දවසක් ය. එදා ද කෑවේ වමනය කළ බත් අසූචියකි. මනුලොව ද ඉපිද බොහෝ දුක් විඳි අතර මේ අවසන් ආත්මයේ ද පිළිසිඳගත් දින පටන් මුළු ප්‍රදේශයේ ම කටයුතු පිරිහී ගියේ ය. මිනිසුන් කාලකණ්ණියා කවුදැ යි සොයා මේ මව ගමින් ද පන්නා දැමීය. ඕ තොමෝ ඉන්නට තැනක්, කන්නට බතක්, බොන්නට දියක්, අඳින්නට වතක්, යන්නට මඟක් නො වූයෙන් දුකින් දුකට ම පත් වූවා ය. පසුව මොහු ලොවට බිහිකොට පයින් ඇවිදින්න හැකි වෙන තෙක් හදා කබලක් දී පාරේ අතහැර දැමූ අතර එදා සිට ඉඳුල් කා හැදුණේ ය. බලන්න සත්පුරුෂයෙනි, එක් දිනක රහත් හිමි නමක ගේ ලාභයක් වැළැක් වූ පවින් බුද්ධාන්තරයක් ම දුක් දුන්නේ ය. එබැවින් කර්මයට බිය වෙත්වා!

(ජාතකට්ඨ කථා - ලෝසක ජාතකය 209 පිට)

 

අවුරුදු විසි දහසක් මහණදම් කල හිමිනමක් නාගයෙකු වූ කථා පුවත

 

කාශ්‍යප බුදු සසුනේ පැවිදි වූ මෙතුමා අවුරුදු 20000 ක් මනා සිල්වත් පැවිදි ජීවිතයක් ගත කල අතර දිනක් ගඟේ අඟුළක නැගී යනුයේ එක් තැනක ගසක් තිබී එහි කොළයක් ඇල්ලී යෙන් එය කැඩී අතට ආයේ ය. මෙහි ඇවතක් නො වූව ද ඇවතක් වුනේ යැ යි, විනය නො දත් බැවින් කුකුස් කළේ ය. ඊට පිළියම් ද නො කළේ ය. අපවත් වන විට මෙය සිහිව මහා නාගරාජයෙකු වී ඉපදුණේ ය. නම ඒරකපත්ත වූ අතර අප බුදු සසුන වන තුරු බුද්ධාන්තරයක් ම මේ තිරිසන් ආත්මයේ සිටීමට වූයේ කොළයක් කැඩී එයට පිළියම් කරගන්න බැරි වීමෙන් ය. ඉදින් ලොකු වරදක් කළේ නම් කෙසේ බේරෙන්න දැ යි නුවණින් සිතන්න.

(ධම්මපද අට්ඨ කථා - 566 පිට)

 

දරුවන් නැති සිටුවරයෙකු ගේ කථාවක්

එක් ජීවිතයකදී මේ සිටුතුමා ධනය කෙරෙහි තෘෂ්ණාවෙන් තම සොහොයුරා ගේ එකම පුතු මරණයට පත් කළේ ය. ඒ හේතුවෙන් ඔහු නිරයෙහි වැටී අවුරුදු ලක්ෂ ගණනක් දුක් වින්දේ ය. මනුලොව ඉපිද තගරසිඛී පසේබුදු රජුන්ට දන් දුන් පිනෙන් සත් වරක් සිටු තනතුරු ලැබී ය. නමුදු ඒ කිසිවරක ඔහුට දරුවන් නොවී ය. දරුවන් නැතියෙන් වස්තුව ඔහු මළ පසු රාජසන්තක විය. නැවත රෞරව නිරයෙහි ඉපදුනි. මෙසේ දරුවන් නැතිවීමට හේතුව උක්ත කරුණ බව වදාළ සේක.

(සංයුක්ත නිකායේ දුතිය අපුත්තක සූත්‍රය)

 

රජගහ නුවර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා

 

දිනක් මොහු බණ අසා සෝවාන් විය. බණ අසා යන විට අතර මඟදී අලුත වැදූ දෙනක් ඇන මියගිය අතර මෙය අසන්නට ලැබුණු භික්ෂූන් වහන්සේලා මේ බව බුදුරජාණන් වහන්සේට මතක් කළහ. ඔහු උපන් තැන ද කුෂ්ඨ රෝගය සෑදීමට පූර්ව කර්මය ද විචාළේ ය. ඔහු තව්තිසා දෙව්ලොව උපන් බව තථාගතයන් වහන්සේ වදාළ සේක. එසේම මොහු පෙර ආත්ම භවයකදී තගරසිඛී නම් පසේ බුදුන් දැක කාරා කෙළ ගැසූ පවින් නරකයේ ඉපිද දුක් විඳ මෙලොව දී රෝගයකින් (කුෂ්ඨ) පෙළුනු බව වදාළ සේක. එබැවින් මෙය බලන සත් පුරුෂයෝ පවට බිය වෙත්වා.

(ධම්මපද අට්ඨ කථා - 292 පිට)

 

බෝධිරාජ කුමාරයාට දරුවන් නැති හේතුව

 

මෙතුමා කෝකනද නම් මාළිගාවක් කරවා එහි ප්‍රවේශ මංගල්‍යයට බුදු පියාණන් වහන්සේට ආරාධනා කළේ ය. ඔහු මාළිගාවේ පළමු එළිපත්තේ පටන් දිගටම ඇතිරිල්ලක් එලා මෙසේ සිතුවා. “මට දරුවන් ලැබේ නම් බුදු පියාණන් වහන්සේ මෙය පාගාගෙන වඩින සේක්වා” කියා ය. තථාගතයන් වහන්සේ එතැනට වැඩම කර එය ආනන්ද හිමි ලවා අස්කරවා වැඩි සේක. කුමරු ඒ බව විචාළ කල ඔහුට දරු සම්පත් අහිමි බව වදාළා. ඊට හේතුව එක ජීවිතයක බිරිඳ හා නැව් නැගී යද්දී නැව මුහුදු බත් වී මේ දෙපළ අසල දූපතකට ගොඩ විය. එහි බොහෝ පක්ෂීන් හා කුරුළු බිත්තර ද තිබී දිවි ගෙවීමට වෙන කල යුතු යමක් නැති බැවින් මේ දෙපල පක්ෂි බිත්තර හා කුඩා පැටවුන් මරාගෙන අනුභව කොට ජීවත් විය. එම අකුසල කර්මය නිසා දරු සම්පත් නැති වඳ මිනිසුන් වූහ. එබැවින් සත්පුරුෂයනි, මේ අනුව තමන් කරන කියන දේ ගැන ද මඳක් සිතා බලත්වා.

(ධම්මපද අට්ඨ කථා - 509 පිට)

 

මල්ලිකා දේවිය දින හතක් අපායට යෑමට හේතුව

 

මෙතුමිය සැවැත් නුවර කොසොල් රජු ගේ අග්‍ර මහේෂිකාව වේ. ඇය බොහෝ සැදැහැ ඇති අතර නිතර නිතර බණ ඇසීම්, දන්දීම්, සිල් රැකීම්, ධර්මය කට පාඩම් කිරීම් ආදී පින්කම් කළා ය. බුදු සසුනේ එක්වරක් පමණක් දීමට හැකි අසදෘෂ මහා දානය ද දාහතර කෝටියක් වියදම් කොට දෙන ලදි. නමුදු මිය යන විට ඇය පෙර බල්ලෙකු හා සංවාසයෙ හි යෙදීමෙන් කළ පව සිහි වී අපාගත විය. අපායේ ඉපදුන ද කළ කුසල් බොහෝ හෙයින් දින හතක් දුක් විඳ ඉන් චුත වී තුසිත දෙව්ලොව ඉපදී සිටින බව වදාළ සේක.

 

රෝහිණී කුමරිය ගේ කුෂ්ඨ රෝගයට හේතුව

 

අනුරුද්ධ හිමි ගේ නැගණිය වූ රෝහිණී කුමරිය බලවත් කුෂ්ඨ රෝගයකින් මහත් දුකක් විඳින්නී ය. පසු කාලයේ දී මෙතුමිය අනුරුද්ධ හිමිගේ උපදෙස් පරිදි තම ආභරණ මිල කොට දෙමහල් අසුන් හලක් කොට බුදුපාමොක් මහ සඟුන්ට පුදා නිතර පින් කළා ය. ඒ පිනෙන් ඇගේ කුෂ්ඨ රෝගය සුව විය. මේ කුෂ්ඨ රෝගයට හේතුව තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. ඈ පෙර බරණැස් රජු ගේ අග මෙහෙසිය වී සිටිය දී අන්‍ය අන්තඃපුර ස්ත්‍රියක් කෙරෙහි ක්‍රෝධයෙන් කසඹිළියා පත් ගෙන්වා සුණු කොට ඇගේ නිදන ඇඳේ ගා තබා ඇගේ ඇඟට ද දැමුවා ය. එම ස්ත්‍රිය කසඹිළියා සුණු ඇඟට දැමූ කල තමා නිදන කාමරය වෙත දුව ගොස් යහනේ පෙරළිනි. එහිද දමා තිබූ කසඹිළියා පත් නිසා වේදනාව බලවත් වූවා ය. මෙසේ ක්‍රෝධ සිතින් අනුන්ට කළ විපත තමා වෙත විත් හොඳ නො වන කුෂ්ඨ රෝගයක් සෑදී සමාජයට මුහුණ දීමට නො හැකි තත්වයකට පත් වූ බව වදාළ සේක.

(ධම්මපද අට්ඨකථා 607 පිට)

 

කුණ්ඩදාන හිමි පසු පස කාන්තාවක් ඒමට හේතුව

 

මෙම තෙරුන් මහණ වූ දා පටන් කාන්තා රූපයක් තෙරුන් පසුපස එනු ලැබේ. මෙය තෙරුන් නො දන්නා අතර අන්‍යයන්ට පෙනෙන්නා හ. මේ කාන්තාවක් සේ පසු පස යන රුව දකින මිනිසුන් ද තෙරුන්ට නො මනා බස් කියති. මෙය දක්නා භික්ෂූන් ද දුස්සීල වාදයෙන් බනිති. තෙරුන්ට එබන්දක් නො පෙනෙන බැවින් තෙරුන් ද අන් අයට මුසාවාදීන් දුස්සීලයන් යැ යි බනිති. පසුව තෙරුන් පසුපස කාන්තාවක් නො යන බව ද කර්ම බලයෙන් එවැන්නක් පෙනෙන බව ද කොසොල් රජු සොයා ගත්තේ ය. තථාගතයන් වහන්සේ අතීත කර්මය වදාළ සේක. මේ හිමි කාශ්‍යප බුදුන් කල දෙවියෙකුව ඉපිද සමඟිව විසූ දෙනමක් භේද කළේ ය. ඒ සමගි දෙනම වඩින විට එක නමකට කැසිකිළි කිස කිරීමට අවශ්‍ය විය. එබැවින් කැළෑවට පිවිසියේ ය. ඒ භික්ෂුව කැසිකිළි කිස කොට එන කල මේ දෙවියා කාන්තා වෙසක් ගෙන රෙද්ද හදමින් අත්වල වැලි ගසා දමමින් කෙසද බිඳිමින් වටපිට බලමින් පසුපස ආවා ය. මේ දුටු අනිත් භික්ෂුව දුශ්ශීල වාදයෙන් චෝදනා කළේ ය. දෙදෙනා ම බහින්බස් වී පෝය කිරීමට ද විරුද්ධ වූ කල දෙවියා විත් තමා කළ වරද කියා සමාව ගත්තේ ද පෙර තිබූ හිතවත්කම නැවත පෙර සේ ඇතිකර ගත නො හැකි විය. මේ පෙර ආත්මයක දී දෙවියකුව සිටිය දී කල පාප ක්‍රියා බලයෙන් අවීචියේ ඉපිද දුක් විඳ මෙකල ද මෙසේ කර්මය පල දුන් බව වදාළ සේක.

(මනෝරථපූරණී නම් අංගුත්තර නිකාය අට්ඨකථා - 146 පිටුව)

 

කපිල මත්ස්‍යයා ගේ කථාව

 

සැවැත් නුවර අචිරවතී නදියෙන් කෙවුළන් පිරිසකට රන්වන් මත්ස්‍යයෙක් දැලට අසු විය. ඔවුහු ඒ රන්වන් මත්ස්‍යයා දැක සතුටුව කොසොල් රජු වෙත ගෙන ගිය හ. රජු බුදු සමිඳු වෙත ගෙන ගියේ ය. මේ මාළුවා රන්වන් පාට නමුදු මුඛය විවර කල කල්හි මහා දුගඳක් පිට වේ. මීට හේතු විචාළ කල තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. මහරජ, මේ තෙම කාශ්‍යප බුදු සසුනේ පැවිදිව අවුරුදු 20000ක් මහණදම් කළ කෙනෙකි. එකල මොහු ත්‍රිපිටකධාරී බහුශ්‍රැත ධර්ම කථික භික්ෂුවක් වී සිටියේ ය. ඒ පර්යාප්ති ධර්මය දරාගෙන සිටි බැවින් ම පිරිවර ද බොහෝ විය. පිරිවර නිසා බොහෝ ලාභ සත්කාර ද ලැබෙන්නට විය. හෙතෙම බහුශ්‍රැත මානයෙන් මත්ව ලාභ තණ්හාවෙන් මැඩුණේ අති පණ්ඩිත මානය බැවින් අකැප දෑ කැප ලෙස ද කැප දෑ අකැප ලෙස ද වැරදි සහිත දෑ නිවැරදි ලෙස ද නිවැරදි දෑ වැරදි ලෙස ද ධර්ම විනය වරදවා කීය. එහිදී ලජ්ජී පේසල භික්ෂූන් ඔහු හැර දැමී ය. පසුව හෙතෙම දුරාචාරයෙහි යෙදෙමින් කාශ්‍යප සම්බුදු සසුනේ පරියාප්ති ධර්මය පසුබැස් වූ බැවින්, කෙළෙසූ බැවින් අවීචි මහා නිරයෙහි උපන්නේ ය. බුදු සසුනේ පැවිදිව සිටි මොහු ගේ සොයුරු සෝධන තෙරුන් වහන්සේ රහත් වී පිරිනිවුණේ ය. භික්ෂුනී සාසනයේ පැවිදිව සිටි සාධිනී නම් මොහු ගේ මව හා තාපථා නම් වූ බාල නැගණිය මොහු ගේ දෘෂ්ටි ගෙන පේසල භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කොට එම නිරයෙහි උපන්නී ය. බුද්ධාන්තරයක් ම අවීචියේ පැසී පසුව අවීචියෙන් මිදී තිරිසන් ආත්මයක් ලැබ මත්ස්‍යයෙකු වී උපන්නේ ය. පෙර මොහු කාශ්‍යප බුදු සසුනේ ධර්ම දේශණා කළ බුදුගුණ කී පිනෙන් රන්වන් විය. භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කළ පවින් මුවින් දුගඳ හමන්නට වූ බව වදාළ සේක.

(ධම්මපද අට්ඨ කථා - 739 පිට)

 

මහාකාල උපාසක ගුටි කා මැරුම් කෑමට හේතුව

 

මොහු බණ අසා සෝවාන් වූ උපාසකතුමෙකි. දිනක් රාත්‍රී බණ ඇසීමට දෙව්රමට ගොස් බණ අසා උදෑසන දෙව්රම් වෙහෙර පොකුණකින් මුහුණ සෝදමින් සිටියේ ය. රෑ ගෙයක් බිඳ වස්තුව පැහැරගත් සොරුන්, ගේ හිමියන් ලුහු බඳිනා කල මහාකාල උපාසක ඉදිරියේ බඩු දමා පැන ගියහ. පසුපස පන්නා ආ ගේ හිමියෝ ඒ භාණ්ඩ දැක “නුඹ ගෙවල් බිඳිමින් බණ අසන්නෙකුසේ හැසිරෙනු දැ යි ” කියමින් හොඳටම පහරදි මරා දැමූ හ. භික්ෂූන් මෙය දැක නිවැරදි මිනිසාට පහර කා මිය යාමට වීම ගැන කම්පා වී බුදු සමිඳුට සැල කළහ. තථාගතයන් වහන්සේගෙන් මෙසේ වීමට හේතුව වදාළ සේක. මොහු පෙර ආත්මයක දී එක් ස්ත්‍රියක් කෙරෙහි ප්‍රේමයෙන් ඇලී ඇය හිමිකර ගැනීමට, ඇගේ නිරපරාද වූ ස්වාමියාට බොරු වරදක් පමුණුවා මැරුවේ ය. අකුසල කර්මය මතු වී මේ දිවියේ මෙසේ දුක් විඳ මැරෙන්නට වූයේ යැ යි වදාළ සේක.

(ධම්මපද අට්ඨ කථා -517 පිට)

 

සසර පුරුදු ඉදිරියට යන බව

දිනක් බණ ඇසීමට පස් දෙනෙකු පැමිණි අතර සිව් දෙනෙකු මනාව බණ නො ඇසීය. ඒ පිරිස අතර එක් තැනැත්තෙක් නිදිකිරා වැටුණේ ය, එක් තැනැත්තෙක් ගසක අත්තක් සොලවමින් සිටියේ ය, එක් තැනැත්තෙක් බිම ඉරි අඳිමින් සිටියේ ය, එක් තැනැත්තෙක් අහස දෙස බලා සිටියේ ය, එක් තැනැත්තෙක් මනාව බණ ඇසී ය. ආනන්ද හිමි අර සිව් දෙනා බණ නො අසන්නේ මන්දැ යි ඇසූ කල තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. “ආනන්දයෙනි ෟ හිඳ ගෙන නිදා සිටි තැනැත්තා 500ක් ජාතියෙහි සර්පයෙක්ව උපන්නෙකි. ඉරි අඳිමින් සිටි තැනැත්තා 500ක් ජාතියෙහි ගැඬවිල්ව උපන්නෙකි. අත්තක් සොළවමින් සිටි තැනැත්තා 500ක් ජාතියෙහි වඳුරව උපන්නෙකි. අහස දෙස බලමින් සිටි තැනැත්තා 500ක් ජාතියෙහි නැකැත් බලන්නෙකි. මනාව බණ අසමින් සිටි තැතැත්තා 500ක් ජාතියෙහි බ්‍රාහ්මණව උපන්නෙකි. එකල ඔවුන්ගේ සසර පැවති පුරුද්දට අනුව ඔවුන් දැනුත් මෙසේ කරති” යැ යි වදාළ සේක.

 

මෙසේම පිළින්දිවච්ච මහ රහතන් වහන්සේ “වසළයා” යැයි කියා මිනිසුන්ට කථා කරති. ඊට හේතුව ද 500ක් ජාතීන් හි බ්‍රාහ්මණව ඉපිද සිටීම ය. තව ද රහත් හිමි නමක් මහ මඩ වළෙන් පැනගොස් කුඩා මඩ වළෙන් බැස යාමට හේතුව ද උන්වහන්සේ පෙර ආසන්න ආත්ම ගණනාවක් ම වඳුරුව ඉපදී ඇති බැවිනි. මෙසේම අකීකරු වීම, ස්ත්‍රීන් රැවටීම, මෝඩ ක්‍රියා කිරීම්, කළගුණ සැළකීම්, නුවණින් කටයුතු කිරීම් ආදි බොහෝ ගුණාගුණ සසර පුරුදු ලෙස ඉදිරියට එන බව ජාතක අට්ඨ කථාවට අනුව පෙනේ. බොහෝ කථාවල “මහණෙනි දැන් පමණක් නොව මොහු පෙරත් මෙසේ කළේ ය” යනාදී ලෙස දක්වා ඇත. ඒ අනුව පුරුදු ඉදිරියට යන බව වටහා ගෙන කුසල ක්‍රියාවලම නිරත වෙත්වා.

 

පනස්පස් වසක් අසූචි කා ජීවත් වූ මිනිසෙක්

 

මොහු නමින් ජම්බුක ආජීවකයා ය. මොහු දැන තේරෙන වයසේ සිට ආහාර ලෙස අනුභව කරනුයේ අසූචි ය. වෙන කිසිවක් නොක යි. මේ නිසා දෙමව්පියෝ ආජීවකයන්ට භාර දුනි. එහිදී ආජීවකයෝ තල් ඇටයක් ගෙන මොහුගේ කෙස් එක එක උඟුලා දමා මොහු මහණ කළේ ය. මොහු දැන තේරෙන වියේ පටන් නිර්වස්ත්‍රව සිටිති. වස්ත්‍ර නො අඳිති, ඇඳක නො සැතපෙති, බිම ම නිදති. දිනක් සුගතයන් වහන්සේ මොහු සිටින තැනට වැඩ එහි එක් තැනක නවාතැන් ගෙන මොහු දමනය කළ සේක. එහිදී ඔහුට මෙසේ වීමට කළ පූර්ව කර්මය ද වදාළ සේක.

 

පෙර මොහු කාශ්‍යප බුදු සසුනේ පැවිදිව සිටිය දී දායකයන් කෙරෙහි බොහොම කුළුපගව විසී ය. ආගන්තුකව වැඩි රහත් නමකට දායකයන් පැහැදී දන් දී සිවුරකට සළුවක් ද පුදා පසුව කෙස් රැවුල් බෑමට කරණවෑමියෙක් හා නිදන්නට ඇඳක් ද ලබා දුනි. නේවාසික භික්ෂුව මෙයට හිත රිදවාගෙන ආගන්තුකව වැඩි රහත් හිමිට බැණ වැදුණේ ය. “ඇවැත්නි ආගන්තුකය, නුඹට සුදුසු කෙළෙඹියා ගේ බත නොව අසූචි කෑමටය, කරණවෑමියා ලවා කෙස් රැවුල් බෑවීම නොව තල් ඇටයක් ගෙන කෙස් රැවුල් ගලවා දැමීම ය, දායකයන් දුන් රෙදි ඇඳීමට වඩා නග්නව ඇවිඳීම වටින්නේ ය, ඇඳෙහි නිදීමට වඩා බිම හිඳීම කල යුතු වේ” යනාදී ලෙස ගර්හා කළේ ය. රහතන් වහන්සේ මොහු තමන් නිසා පව් කරගන්නා බැවින් නො කියා ම වැඩි සේක.

 

එදා මේ කරගත් අකුසලය නිසා මැරී අවීචි මහ නිරයෙහි ඉපිද, අප බුද්ධ ශාසන කාලය වනතුරු බුද්ධාන්තරයක් ම එහි මහත් දුක් වින්දේ ය. එයින් චුතව දැන් මේ මිනිස්ව ඉපිද පනස්පස් වසරක් අසූචි කා, ජීවත් වීමට සිදු වූවා යැ යි තථාගතයන් වහන්සේ වදාළ සේක. ඔහු පෙර ජීවිතයේ රහතන් වහන්සේට කළ ආක්‍රෝෂ හතරම මොහුට විපාක දෙන ලදි. පසුව මේ ජම්බුක ආජීවකයා බණ අසා සිව්පිළිසිඹියාලාභී මහ රහතන් වහන්සේ නමක් විය.

 

බලන්න පින්වතුනි, අවුරුදු 20000ක් පිරූ ශ්‍රමණ ධර්මයෙහි කුසලයටවත් ඔහු කළ අකුසලය යට කරගන්න බැරි විය. අපායේ ඉපිද දුක් විඳ, අසූචි කා නග්නව ජීවත් වන්නෙකු විය. පසුව අවුරුදු 20000ක් තුළ පැවිදිව පිරූ පාරමී මතුවී රහත් බව ද ලබා දුන්නා. මේ නිසා කර්ම බලය මනාව තේරුම්ගෙන කල්පනාකාරීව ජීවත්වීමට පෙළඹෙත්වා!

(ධම්මපද අට්ඨ කථා - 301 පිට)

 

ලකුණ්ඨක භද්දිය හිමි මිටි වී ඉපදීමට හේතුව

මෙම හිමියන් රහතන් වහන්සේ නමකි. නමුදු බොහෝ මිටි බැවින් බොහෝ නො හික්මුණන් ගේ කෙළි කවටකම් සමච්චල් කිරීම් ආදියට ලක් වූහ. තථාගතයන් වහන්සේ දිනක් මේ හිමි මිටිවී ඉපදීමට හේතුව වදාළ සේක. පෙර කාශ්‍යප බුදු සසුනේ මහත් ධන පරිත්‍යාගයක් කොට බොහෝ දෙනා එකතුව කරන්න ගිය චෛත්‍යය පින්කම, මෙතුමා මැදිහත්ව පින්කම කුඩාවට කරවී ය. යොදුන් හතකට හදන්න සූදානම් වූ චෛත්‍යය යොදුනකට කිරීමට යෝජනා කළේ ය. ඒ හේතුවෙන් මෙසේ බලන්නට අප්‍රසන්න ලෙස නින්දාවට සුදුසු සේ මිටි වී ඉපදුනු බව වදාළ සේක. එබැවින් සත්පුරුෂයෙනි, අනුන්ගේ පින්කම් බාල නො කරත්වා.

(අපදාන පාළිය 541 වන අපදානය)

 

මුගලන් හිමි සොරුන්ගෙන් මැරුම් කෑමට හේතුව

 

මුගලන් ස්වාමීන් වහන්සේ අප බුදු සසුනෙහි සෘද්ධි ලාභීන් අතර අග්‍ර වූ ශ්‍රාවකයන් වහන්සේ වේ. නමුදු තීර්ථකයන් ගේ අල්ලස් දීම නිසා සොරුන් විසින් කාලසිලා පර්වතයේදී දේහය හාල් ඇට ගණනට කුඩු කළහ. මෙසේ සොරුන්ගෙන් පහර කා විනාශ වීමට හේතුව පෙර එක් ජීවිතයක බිරිඳ ගේ කේළාම් අසා තම නිරපරාද දෙමව්පියන් කැලයට ගෙන ගොස් පහර දී මරා දැමූ පාප ක්‍රියාව බව වදාළ සේක.

(විසුද්ධි ජන විලාසනී නම් අපදානට්ඨ කථා 207 පිට)

 

 

සීවලි මහ රහතන් වහන්සේ බොහෝ කාලයක් මව්කුස දුක් විඳි කර්මය

 

මේ හිමිට අවුරුදු හතකුත් මාස හතක් දින හතකුත් මව් කුස හිරවී දුක් විඳීමට සිදුවිය. මව්තුමිය වූ සුප්පාවාසාවට ද මෙතරම් කාලයක් දරු කුස දරා සිටීමට සිදු විය. අවසානයේ දින හතක් දරු ගැබ හරස් වී මහත් කටුක දුක් විඳීමට සිදු විය. මෙයට හේතුව සුගතයන් වහන්සේ වදාළ සේක. සීවලී හිමියෝ පෙර රජකුව සිටිය දී කුඩා රාජ්‍යයක් අල්ලා ගැනීමට යුද්ධ කළේ ය. නමුදු ඒ කුඩා රට අල්ලා ගැනීමට නො හැකි විය. එවිට රටට ආහාර පාන එන මාර්ග සියල්ල වසා අවුරුද්දකුත් සත් මසක් රැකවල් දා සිටියේ ය. නමුදු රට අල්ලා ගත නො හැකි වූ අතර මව ගේ උපදෙස් පරිදි ඒ නුවරට ආහාර සපයන එකම උමග ද වසා දැමීය. පසුව රට වැසියන් යටත් විය. එදා බලය පාවිච්චි කරමින් දුර්වල රටකට දුන් දුක් හේතුවෙන් මෙදා මෙසේ දුක් විඳීමට වූ බව ද මව දුන් උපදෙස් හේතුවෙන් මවට ද ඒ කර්මය ආ බව වදාළ සේක. එබැවින් සත්පුරුෂයෝ බලය නො මඟට නො යොදත්වා.

(ආඝාත රූප ජාතකය)

 

සුචිලෝම යක්ෂයා වූ භික්ෂූව

 

බුදුරජුන් ජීවමාන කාලයෙහි ගයා ප්‍රදේශයෙ හි සුචිලෝම නම් කර්කශ වූ ඉදිකටු බඳු ලෝමගස් ඇති යක්ෂයෙක් විය. දිනක් තථාගතයන් වහන්සේ ඔහුගේ භවනට වැඩ ඔහු දමනය කොට සෝවාන් ඵලයෙහි පිහිට වූ සේක. පෙර පිරූ පාරමී ඇති මොහු මෙලෙස ඉදිකටු බඳු ලොම් ඇති යක්ෂයෙක් වීමට හේතුව මෙසේ වදාළ සේක. මොහු කාශ්‍යප සම්බුදු සසුනෙහි භික්ෂුවක්ව සිටිය දී දිනක් දිගු මාර්ගයක පැමිණ, බොහෝ දහඩිය දා තිබිය දී ඇඟ පිරිසිදු කර නො ගෙන ඇඳට තම ඇතිරිල්ලක් ද නො ගෙන සාංඝික ඇතිරිල්ල මත අනාදරව ඇල විය.

 

වසර විසි දහසක් පැවිදි දම් පිරුවත් මේ වරද මතු වී දහඩිය එන රෝම කූප ඉදිකටු බඳු වූ යක්ෂයෙක් වී ඉපදුනි. ඒ දිවියේ ද සසර දී පිරූ පාරමී ඇති බැවින් මගඵල නිවන් සුවය ලැබූ සේක. මේ සඳහන් කළේ සාරත්ථප්පකාසිනී නම් සංයුක්ත නිකායට්ඨ කථාවේ 233 පිටුව අනුව ය. නමුත් සුත්ත නිපාතට්ඨ කථාවේ 271 පිටුවේ මොහු පෙර උපාසකයෙකුව සිටිය දී බණ ඇසීමට ගොස් සඟ සතු ඇතිරිලි කිළිටි කළ පවින් ඉහත ආත්මය ලැබූ බව පෙන්වා ඇත.

ඛරලෝම යක්ෂයා වූ උපාසකතුමා

 

මොහු සුචිලෝම යකු ගේ මිත්‍ර යක්ෂයෙකි. මොහුගේ ශරීරය අතිශයින් ම කර්කශ සේම විෂම ද වේ. එසේ වීමට හේතුව හෙතෙම කාශ්‍යප බුදු සසුනේ උපාසක මහතෙකු වී සිටිය දී විහාරයෙහි විසිතුරු ලෙස සාංඝික ඇතිරිලි බිම අතුරා තිබූ අතර එහි තමා ගේ උතුරු සළුව එලා නො ගෙන වාඩි විය. එසේ ම සඟ සතු තෙල් සහිත අතින් තම සිරුර ද පිරිමදින්න යැ යි කීවේ ය. එසේ සඟ සතු තෙල් ද පරිභෝග කළ බැවින් මෙසේ කර්කශ වූ ශරීරයක් ඇති යක්ෂ ආත්මයක් ලැබූ බව වදාළ සේක. මෙහි සඳහන් කලේ සංයුක්ත නිකායට්ඨ කථාවෙ හි සුචිලෝම සූත්‍ර වර්ණනාව අනුව ය. පරමත්ථ ජෝතිකා නම් සුත්තනිපාතට්ඨ කථාවට අනුව සඟ සතු තෙල් නො විචාරාගෙන තමාගේ ඇඟේ ගාගත් පවින් මෙසේ වූ බව කියා ඇත.

 

උත්තර නම් සාමණේර වහන්සේ උල තැබීමට හේතුව

 

දම් සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ ගේ ශිෂ්‍ය නමක් වූ උන්වහන්සේ දිනක් සැරියුත් මහ රහතන් වහන්සේ ලෙඩ වී ඊට බෙහෙතක් සෙවීම සඳහා වැඩියේ ය. මඟ දී දිය කඩිත්තක් දැක මුව දෝවනය කරද්දී ගම් දරුවන් විසින් ලුහු බඳිනා හොරු පිරිසක්, මුදල් පොදියක් පාත්‍රයට දමා ගියේ ය. ගම් දරුවන් පාත්‍රයේ තිබූ මුදල් පොදිය දැක සාමණේරයන් වහන්සේට පහර දී වස්සකාර බමුණාට පෙන්වා ඔහු අණ පරිදි උල තියන්නට නියම විය. වස්සකාර බමුණා ගේ දුව පෙර විවාහ කරගන්න කියද්දී විවාහ කර නො ගත් බැවින් ද මෙසේ නො විමසා උල තැබීමට නියම කළ බව දත යුතු ය.

 

දූෂිත නීතියෙන් උල තබන ලද මුන් වහන්සේ සැරියුත් හිමිට බෙහෙත කෙසේ ගෙන යනුයේ දැ යි සිතීය. මෙය නුවණින් දුටු සැරියුත් මහ රහතන් වහන්සේ සුගතයන් වහන්සේට මෙය දන්වා පිරිස හා එතනට වැඩි සේක. එහිදී මෙසේ විපාකදීමට කළ අතීත කර්මය වදාළ අතර උත්තර හිමියෝ දෙසුම කෙළවර රහත් විය. පෙර මුන් වහන්සේ කුඩා ළමයෙකුව සිටිය දී කොහොඹ කූරක් ගෙන මැස්සෙකු උල තැබූ කර්මය හා තම මෑණියන්ට පෙර එක ජීවිතයකදී තරහ ගෙන “ඔබ දවසක් උල තබාවා යැයි” කළ ශාපය ද යන මේ කර්ම දෙක හේතුවෙන් පන්සිය වාරයක් මෙසේ කොහොඹ උල් උඩ දිනක් මුළුල්ලෙ හි තබන ලද බව වදාළ සේක.

(සද්ධර්මාලංකාරය 197 පිට)

 

පද්මාවතී දේවිය ගේ තබන පියවරක් පාසා මල් පිපෙන පින නැතිවීමට හේතුව

 

මෙතුමිය පෙර කාශ්‍යප බුදු සසුනටත් අප බුදු සසුනටත් අතර කාලය තුල එක් ජීවිතයක කිරීටවච්ජ ගේ දුව උන්මාදන්ති නම් දාසියක් විය. දිනක් කුඹුරෙහි කුරුල්ලන් එළවමින් සිටිය දී පසේබුදු කෙනෙක් දැක පැහැදී විළඳ හා නෙළුම් මලක් පුදා පැතුමක් කළා ය. මේ විළඳ ගණනට දරුවන් ලැබෙන්නත් ඒ අය පසේබුදුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අවබෝධ කරගන්නෝ වෙන්නත්, මතු තමා සියළු ස්ත්‍රීන්ට වඩා රූමතියක් වී ඉපදෙන්නත් පැතුවා ය. නෙළුම් මල පිදූ පිනෙන් තබන පියවරක් පාසා නෙළුම් මල් පිපේවායි ද පැතුමක් කළා ය. පසුව පසේ බුදුන් වඩිද්දී පසේ බුදුන්ට නෙළුම් මලින් කවර ප්‍රයෝජනයක් ඇද්දැ යි සිතා දුවගොස් නැවත නෙළුම් මල ඉල්ලා ගත්තී ය.

 

පසුව නැවතත් සිතන්නී, පසේ බුදුන් නෙළුම් මල අනවශ්‍ය නම් ගෙන නො යනු ඇත, ඒ ගෙන ගියේ ප්‍රයෝජන ඇති බැවිනැ යි සිතා නැවත දුවගොස් ඒ මල දී සමාව ගන්නා ලදි. මෙතුමිය කළ පැතුම් සියල්ල පද්මාවතිය නමින් උපන් ජීවිතයේ ඵල දුන් අතර රාජ මහේෂිකාවක් ද වූවා ය. ඇය තබන පියවරක් පාසා නෙළුම් මල් ද පිපුණේ ය. පසු කලෙක ඇය රජුට එපා වී යැවූ අතර තබන පියවරක් පාසා නෙළුම් පිපෙන බව ද නැති විය. මෙසේ වීමට හේතුව එදා ඒ නෙළුම් මල පුදා නැවත ගත් බැවින් බව දත යුතු ය. පසු කලෙක නැවත ඈ රජ මෙහෙසිය වූ අතර පෙර තිබූ ඉසුරුමත් දිවිය නැවත ලැබුවා ය. ඊට හේතුව ගත් නෙළුම් මල නැවත පිදූ බැවින් යැයි ද දත යුතු ය.

(සද්ධර්මාලංකාරය 172 පිට)

 

නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ චණ්ඩාල ගමක අනාථව ඉපදීමට හේතුව

 

පෙර එක් දිවියක දඹදිව ධර්මාශෝක රජු ද ලංකාවේ දෙවනපෑතිස් රජු ද නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ ද මී පැණි විකුණා දිවි ගෙවන පවුලක ඉපදුනු අතර එහි පසේබුදු කෙනෙක් ගිලන්ව සිටින හෙයින්, ඒ සඳහා පසේබුදු කෙනෙකු මී පැණි සොයා ගෙන වැඩි සේක. බාල සොහොයුරා මී පැණි කලයක් ගෙන පාත්‍රය උතුරා යන තරම් පුදා දඹදිව අධිරාජ්‍ය කිරීමට පැතුවේ ය. සොයුරන් තිදෙනා හවුලේ කරන වෙළදාමක් බැවින් වැඩි මහළු සොයුරා මෙය අසා “හිස මුඩු කළ සැඩොලන් ද ඇත, එබැවින් මොහු මී පැණි කලය චණ්ඩාලයෙකුට දෙන්නට ඇතැයි” ගර්හා කළේ ය. මේ දානය ගැන දැනගත් දෙවැනි අයියා කීවේ, “නුඹේ ඔය පසේබුදුන් අපට අවශ්‍ය නැත. මුහුදින් එතෙර දමා පිය” යැ යි කී ය. පසුව ඔහු බාල සොහොයුරා ගේ පසේබුදු ගුණ වර්ණනාව අසා පින ද අනුමෝදන් විය. නමුදු මුලදී දොස් නැගි බැවින් එහි විපාක මෙසේ විය.

 

ශ්‍රද්ධාවෙන් මී පැණි පුදා දඹදිව අධිරාජ්‍යයා වීමට පැතූ බාල සොයුරා ඒ පිනෙන් ධර්මාශෝක අධිරාජ්‍යයා විය. පසේ බුදුන්ට නැති තැන නමුදු චණ්ඩාල වාදයෙන් බැන්න වැඩිමහල් සොයුරා එකල සැඩොල් ගමක් මැද නුග ගසක් මුල අනාථව ඉපිද පසුව පැවිදිව නීග්‍රෝධ මහ රහතන් වහන්සේ විය. “නුඹේ පසේ බුදුන් මහ මුහුදින් එතෙරට දමව යැ යි” කී දෙවන අයියා ඉන්දීය මුහුදින් වෙන් වූ ලංකා තලයේ දෙවන පෑතිස් රජු විය. එබැවින් සත් පුරුෂයනි, තමා කරන කියන දේ බොහෝ කල්පනා කොට ම කර කියත්වා.

(මහාවංශය සිංහල 21 පිට)

 

ස්වර්ණතිලකා කුමරිය සැඩොල් කුලයක ඉපදීමට හේතුව

 

මෙතුමිය දිනක් මව සමඟ ලංකාවේ අභයගිරි චෛත්‍යය වැඳීමට ගොස් මල් අසුන අපිරිසිදු බැවින් එය පිරිසිදු කිරීමට පැන් ගෙන ඒමට මව ගිය වාරයේ, මෙතුමිය ඒ අපිරිසිදු මල් ආසනයේ නමුදු සිත පහදවාගෙන ගෙනා සියලු මල් පුදා, දුටු දුටු පුරුෂයන් වසඟ කරවන රූප සම්පත්තියක් පැතුවා ය. මව්තුමිය දිය ගෙනවිත් බලන කල අපිරිසිදු මල් අසුනේ ම මල් පුදා ඇති බව දැක තම දුවට “සැඩොල් කෙල්ල” යැ යි කියා කළ වරදට දොස් නැගී ය. ඇය ද තම මවට කිපී “චණ්ඩාල කෙල්ල නම් ඔබම යි” කියා ද කීවා ය. පසු කලෙක මේ දුව දඹදිව මදුරා නුවර වීණා වාදනය කරන සැඩොල් කුලයක උපන් අතර දුටු දුටු පුරුෂයන් වසඟ කරන රූප සම්පත්තියක් ද ලැබුවා ය.

 

ඇය ලබාගන්නට නො හැකි වූ රජ දරුවන් පස්දෙනෙක් සියදිවි නසා ගත් හ. අවසානයේ ඇයට ද රූප සම්පත්තිය නිසාම මැරෙන්නට වූවා ය. එබැවින් තම මව්පියන්ට නො බැණිය යුතු අතර කරන පැතුම් ද මෙලෙස තමන්ටත් අනුන්ටත් දුක් දෙන පැතුම් නො විය යුතු ය.

(සද්ධර්මාලංකාරය - 363 පිට)

 

කැළණි තෙරුන් වහන්සේ කකියන තෙල් කටාරමකට දමා මරන්න හේතුව

 

මේ තෙරුන් වහන්සේ කැළණි වෙහෙරෙ හි විසූ අතර මෙකල කැළණිතිස්ස රජු ගේ බිසව හා උත්තිය නම් යුවරජ අතර නො මනා සම්බන්ධයක් තිබුණි. මෙය දැනගත් රජු ඔහු මරන්න සොයද්දී පැනගොස් සැඟවී සිට තරුණයෙකු ද හිතවත් කරගෙන, ඔහුට සිවුරු පොරවා රජ දේවියට හසුන් පතක් දෙන්න යැ යි දී එවන ලදි. මේ හොර පැවිද්දා කැළණි තෙරුන් වඩිද්දී පසුපස ගොස් දන් වළඳා එන ගමන් දේවියට ගන්න පෙනෙන සේ ඒ හසුන්පත හෙළී ය. එවිට එය දුටු රජු එය ගෙන කියවා කිපී, මෙය කැළණිතෙරුන් ලියා පොඩිනම අත බිසවට දෙන ලද්දක් යැ යි සිතා, තෙරුන් තෙල් කටාරමෙ හි ලා ගිනි ගසා මරවන්න නියෝග කළේ ය.

 

තෙරුන් වහන්සේ රහත් බැවින් එහි බද්ධ පරියංකයෙන් සිට මෙසේ වීමට හේතු වූ අකුසලය බැලූ සේක. තෙරුන් එක ආත්මයක ගොපළු දරුවෙකුව සිටිය දී කිරි උණු කරන විට මැස්සෙකු අල්ලා දමා කකාරා මැරූ අකුසලය බව දැක, මෙය නැවැත්විය නො හැකි කර්මයකැ යි දැන එහි ම පිරිනිවුණ සේක. මෙයින් දෙවියන් කිපීමෙන් මුහුද ගොඩ ගලන ලදි. පසුව රජු විසින් තම දුව ද මුහුදට බිළි දුනි. නමුදු ඇය විහාරමහා දේවිය නමින් රුහුණට ගොඩ බැස්සා ය. පින්වතුනි! මැස්සෙකු මැරූ කර්මය මෙතරම් බරපතල නම් වෙන සතෙකු මැරුවහොත් කෙසේ විපාක දේ දැ යි සිතිය යුතු ය.

(සද්ධර්මාලංකාරය - 446 පිට)

 

සාලිය කුමරු ගේ ආදරවන්තිය අශෝකමාලා සැඩොල් කුලයක ඉපදුනේ ඇයි?

 

දුටුගැමුණු රජු ගේ පුත් සාලිය කුමරු නිතර ම දානමය පුණ්‍ය කර්ම කිරීමට සිත නැමුනු කෙනෙකි. නමුදු විවාහ කර ගත්තේ අතිශයින් ම ප්‍රියකරු රූසපුවකින් යුත් සූසැටක් ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් හෙබි අශෝකමාලා නම් සැඩොල් කුමරියක් වේ. සාලිය කුමරු ඇයට බැඳි පෙම නිසා රජ සැප ද අත හැරියේ ය. මතු මෛත්‍රී බුදු සසුනේ මෛත්‍රී බුදු රජුන්ගේ බ්‍රහ්මවර්ධන නම් එකම පුත්‍රයා වී ඉපදෙන්නේ ද මේ සාලිය කුමරු ය. මෙතුමාගේ බිරිඳ සැඩොල් කුලයක ඉපදීමට හේතුව නම් ඇය පෙර මේ ලක්දිව සුමනා නමින් ඉපිද තරුණියකව සිටිය දී, දිනක් ඉඳුල් ඉහිරවා ආහාර ගෙන ඇති බව දුටු ඇගේ මව්තුමිය ඇයට “සැඩොල් කෙල්ල තෝ කුමක් නිසා මේ අපිරිසිදු කරන්නේ දැ යි” දොස් නැගූ විට එහිදී සුමනාවෝ මව කෙරෙහි කිපී  චණ්ඩාල කෙල්ල නම් මා නොව මෑණියන් ම යැ යි” කී බැවිනි. මෙහි විපාක වශයෙන් ඇය මේ ජීවිතයේදී සැඩොල් කුලයක ඉපදුන බව ධර්මයේ දක්වා ඇත.

(සද්ධර්මාලංකාරය 549 පිට)

 

 

දාසක හිමි දාසියක ගේ කුස ඉපදීමට හේතුව

 

මේ ස්වාමීන් වහන්සේ අනේපිඬු සිටුතුමා ගේ ගෙදර බැලමෙහෙවර කරන දාසියකගේ කුස ඉපදීමට හේතුව විය. පෙර මෙතුමා කාශ්‍යප බුදු සසුනේ එක් මහ රහතන් වහන්සේ නමකට උපස්ථාන කළ අතර දිනක් යම්කිසි සුළු වැඩක් තෙරුන් ලවා කෙරෙව්වේ ය. (ස්වාමිනි, ඔතන තියන පොත අරන් දෙන්න කියා කියන්න වගේ) ඒ කරගත් අකුසල කර්ම බලයෙන් අප බුදු සසුන කාලයේ දාසියක කුස උපන් බව දක්වා ඇත. එබැවින් පැවිද්දන් භජනය කිරීම බොහොම ප්‍රවේශමින් කළ යුතු වැඩක් බව දත යුතු ය.

(පරමත්ථ දීපනී නම් ථේර ගාථාට්ඨ කථා 69 පිට)

 

අඩ්ඪකාසිය ගේ විශිෂ්ට රූපසම්පත් ලැබීමට හා ගණිකාවක් වීමට හේතුව

 

මෙතුමිය රජගහ නුවර අභිරූපමත් කාන්තාවක් වූවා ය. ඇයගේ විශිෂ්ඨ රූප සෝභාව නිසාම ඇය සියළු රජ දරුවන්ට පරිභෝගයට ගැනීමට ගණිකාවක් කොට තබන ලදි. ඇය මෙසේ බෙහෙවින් ම පරාදීන වූ ජීවිත වෘත්තියක නියළීමට හේතුව මෙසේ දත යුතු ය. මෙතුමිය පෙර කාශ්‍යප බුදු සසුනේ පැවිදිව මනාව බඹසර ආරක්ෂා කල අතර එක් දිනක් රහත් භික්ෂුණියකට “ගණිකාව” යැයි ආක්‍රෝෂ කළ පවින් නිරයෙහි පැසී පසුව මෙ කල, මෙසේ පරාදීන පහත් ජීවිතයක් ලැබුවා ය. කාශ්‍යප සසුනේ බඹසර රැකි පිනෙන් විශිෂ්ඨ රුප සම්පත්තියක් ලැබුවා ය. පසුව දුතේන උපසම්පදාව ද ලබා සසුනේ පැවිදිව රහත් වූවා ය.

(අපදාන පාළියෙහි අඞ්ඪකාසි ථේරි අපදානය)

 

සාතාගිර හේමවත නැමති යක්ෂයන් වූ ත්‍රිපිටකධාරී භික්ෂූන් දෙනම

 

කාශ්‍යප බුදු සසුනේ බොහෝ ම මිත්‍ර කුල පුත්‍රයන් දෙදෙනෙකු පැවිදි විය. දෙදෙනාම තරුණ කාලයෙහි ම පැවිදි වූ බැවින් ග්‍රන්ථධූරය හැදෑරී ය. ප්‍රකෘතියෙන්ම ප්‍රඥාවන්ත වූ මේ දෙනම නොබෝ කලකින්ම ත්‍රිපිටකධාරී ව්‍යක්ත බහුශ්‍රැත භික්ෂූන් දෙනමක් විය. එසේම විනය විනිශ්චයේ ද අති දක්ෂ වූහ. එක එක නමට පන්සිය ගණනේ දහසක් පිරිවර භික්ෂූන් ද වූහ. එනමුදු අවාසනාවක මහිමය නම් අධර්මවාදී දුස්සීල භික්ෂූන් ගේ ලාභ සත්කාර හමුවේ හිස නමන්නට විය.

 

දිනක් සසුනෙන් ඉවත් වීමට සුදුසු දුස්සීල භික්ෂුවකට චෝදනාවක් එල්ල වී එය විනිශ්චය කිරීමේ දී ලාභ සත්කාර වලට ගිජු වී ධර්ම විනය ශාස්තෘ ශාසනය වසා, බුදු සසුන නො රැක පුද්ගලයින් රකිමින්, අගතිගාමීව විනය විරෝධීව ඒ ප්‍රශ්නය විනිශ්චය කළහ. ඒ හේතුවෙන් දුශ්ශීල භික්ෂූව ආරක්ෂා විය. සිල්වත් භික්ෂුව හඬමින් පරාදීනව යන්නට විය. එදා ඒ ලාභ සත්කාරයන්ට ගිජුවී මේ කළ අධර්ම ක්‍රියාව නිසා ඒ මහ තෙරුන් දෙනම ඇතුළු ඊට පක්ෂ වූ පිරිවර දාහක් දෙනා යක්ෂයින් වූහ. වැඩිහිටි භික්ෂුව හේමවත නම් යක්ෂයා වී ද අනික් මහතෙරුන් සාතාගිර නම් යක්ෂයා ද විය. මේ අයට පෙර පැවිදිව සිටිය දී උවටැන් කළ දායක පින්වතුන් දෙව්ලොව ඉපදුණ අතර මේ යක්ෂයන් එම කරුණ දැක මහත් ලැජ්ජාවට පත්විය.

 

මේ මහ පොළොව එක යොදුනකුත් ගව් තුනක් වැඩෙන තුරුත් අප බුදු සසුන දක්වා ද ඒ යක්ෂ ආත්මයෙන් තවමත් අත් මිදෙන්න නො හැකි විය. දිනක් තථාගත ධර්මය ශ්‍රවණය කොට පෙර පිරූ පාරමී ඇති බැවින් මේ නායක යක්ෂයන් ප්‍රධාන පිරිවර දහස සෝවාන් බවට පත් විය. නමුත් අදටත් යක්ෂ යෝනියෙහි ම ය. එබැවින් බුද්ධිමත් සත්පුරුෂයෝ විනය විනිශ්චයකදී පුද්ගලයින් නො රැක සම්බුදු සසුන ම රකිත්වා.

(පරමත්ථ ජෝතිකා නාම සුත්ත නිපාතට්ඨ කථා-

හේමවත සුත්ත වණ්නණා 148 පිට)

 

මුවින් දුඟද පිටවන රූමතිය

 

මෙතුමිය කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ පුරාණ දුතිකාව වූ භද්‍ර කාපිලානිය වේ. මේ පශ්චිම දිවියේ නොව පෙර එක් ජීවිතයක ඇයට විපාක දුන් කර්මයක් පෙන්වා දී ඇත. මෙතුමිය තරුණියක්ව, විවාහ වී සිටිය දී ස්වාමි පුරුෂයාට වෙන්කොට තබන ලද ආහාර කොටස නිවසට වැඩි පසේ බුදුන් වහන්සේ නමකට ස්වාමි පුත්‍රයා ගේ නැගණිය විසින් පූජා කරන්නට යෙදුනා. ස්වාමි පුත්‍රයා එයට සතුටු නො වේ යැයි සිතා, ඔහු කෙරෙහි ඇති බලවත් ආදරය නිසා පසේබුදු හිමිගේ පාත්‍රයෙන් ඒ දන් කොටස නැවත ගෙන තම ස්වාමියාට පිළිගැන්වීය.

 

එහිදී ඔහු ඒ දන නැවත පසේබුදු හිමියන්ට පිදූ හෙයින් මෙයට තරහගත් මෙතුමිය පසේබුදු හිමි ගේ පාත්‍රයෙ හි තිබූ දානය විසිකොට පාත්‍රයට මඩ පුරවා දුන්නා ය. ස්වාමියා ගේ නැගණිය දාන පාත්‍රය දෙන විට ද, තමා මේ මඩ පිරවූ පාත්‍රය දෙන විටද, ඒ පසේබුදු හිමි ගේ මුහුණේ වෙනසක් නො වුණු බැවින් මෙය දුටු ඇය කම්පා වී සමාවගෙන පාත්‍රය නැවත සුවඳ දියෙන් සෝදවා ඉතා මියුරු දානයක් පූජා කළා ය. නමුදු කළ කර්ම විපාක ලෙස පසු භවයකදී එතුමිය ගේ මුවින් දුඟද වහනය වන්නට වූ බව ධර්මයෙහි සඳහන් වේ.

 

සුප්පිය රහතන් වහන්සේ පහත් කුලයක ඉපදීමට හේතුව

 

මේ ස්වාමීන් වහන්සේ පෙර කාශ්‍යප බුදු සසුනෙ හි පැවිදි වී බහුශ්‍රැත භික්ෂුවක් විය. එසේම ගිහිකල රජ කුලයක උපන්නෙක් ද වේ. එබැවින් ජාති මඳයෙන් හා සුත මඳයෙන් මත්ව තමා උසස් කොට අනුන් පහත්කොට සිතමින් කටයුතු කළ අතර ඒ අකුසල බලයෙන් සැවැත් නුවර මිනී දවන කනත්තවල් බලා ගන්නා කුලයෙහි ඉපදුනු අතර සුප්පිය යැ යි නම් තබන ලදි. තම මිත්‍ර සෝපාක හිමිගෙන් බණ අසා පැවිදිව විදසුන් වඩා පසු කලෙක රහත් වූයේ ය.

(පරමත්ථ දීපනි නම් ථේරගාථට්ඨ කථා 92 පිට)

 

සමිති ගුත්ත හිමි ගේ ශරීරය කුණු වී වැගිරෙන්නට හේතුව

මේ ස්වාමීන් වහන්සේ පෙර පසේබුදු කෙනෙකුට “මේ මුඩු ශ්‍රමණයා ඇඟ කුණු වී ඇති බැවින් ඇඟ වසා පොරවා යන්නෙ යැ යි” කියා දෝෂාරෝපණය කිරීම හේතුවෙන් බොහෝ කල් නිරයෙහි පැසී කාශ්‍යප බුද්ධ කාලයේ දී පිරිවැජියෙක් වී සිටිය දී සිල්වත් උපාසක මහතෙකුට “නුඹ කුෂ්ඨ රෝගියෙකු වන්නෙ හි ය” කියා ආක්‍රෝෂ කළේ ය. නාන තොටුපලෙ හි තබන ලද සුනු සබන් ආදිය ද විනාශ කර දමන ලදී. එහි විපාක ලෙස නිරයෙහි පැසී දුක් විඳ මනුලොව ඉපිද බුදු සසුනේ පැවිදි වී සිටිය දී මහා කුෂ්ඨ රෝගයක් වැළඳී ඇඟ කුණු වී දියවෙමින් වැගිරෙන්නට ගත්හ.

 

ගිලන් භික්ෂූන්ගේ සුවදුක් බැලීමට ගිය සැරියුත් මහරහතන් වහන්සේ මේ භික්ෂුව දැක “යාවතා ඛන්ධප්පවත්ති නාම සබ්බං දුක්ඛ මේව වේදනා දික්ඛන්ධේසු පන අසන්තේසු යේව නත්ථි දුක්ඛං” ඇවැත්නි යම්තාක් ස්කන්ධයන් ගේ පැවැත්ම වේ ද, ඒ තාක් මේ ස්කන්ධයෝ සියල්ලම දුක් ම ය, යම් විටක වේදනාදී ස්කන්ධයන් හි නො පැවැත්ම වූයේ ද එහි දුක ද නැත්තේ යැ යි වේදනා විදර්ශනා කමටහන වදාරා වැඩි අතර උන්වහන්සේ ඒ කමටහන වඩා රහත් විය.

(ථේරගාථට්ඨ කථා 175 පිට)

 

ආනන්ද ස්වාමීන් වහන්සේ පෙර ජාතියකදී කාන්තාවක් වී ඉපදීමට හේතුව

 

අප බුදු සසුනෙහි සතිමන්ත, ගතිමන්ත, ධිතිමන්ත, බහුශ්‍රැත, අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ ද පෙර එක් ජීවිතයක ධනවත් රන්කරුවෙක් ව සිටිය දී පරදාර සේවනයේ යෙදී බොහෝ දුක් විපාක වින්දේ ය. එදා රන්කරු කාලයේ කළා වූ පාප කර්මය අළුයට ගිනි මෙන් අවකාශයක් නො ලබා කුසල කර්මයක විපාක වශයෙන් සිටු පුත්‍රයෙක් ව උපන්නේ ය. එහිදී කල්‍යාණ මිත්‍ර ඇසුර ඇතිව බොහෝ කුසල කර්ම කළේ ය.

 

නමුදු පෙර රන්කරු කාලයේ කළා වූ පරදාර කර්මය අළුයට ගිනි මෙන් මතුවී එයින් චුතව රෞරව මහා නරකයේ බොහෝ කාලයක් පැසුණේ ය. බොහෝ දුක් විඳ එයින් චුතව පරදාර කර්මයේ විපාක වශයෙන් මහත් බල සම්පන්න (ගැල්වල) යානාවල යොදන්නා වූ උදුරන ලද බීජ ඇති එළුවෙක් වී උපන්නේ ය. එයින් ද මැරී ගොස් වනයේ වඳුරු යෝනියෙ හි ඉපිද උදුරන ලද ඵල ඇත්තේ දුක් වින්දේ ය. ඉන් මැරී ගොස් දසන්ත රට මහත් බලවත් වූ ගොනෙක් වී බීජෝද්ධාරණය කොට (දෙනුන් ගැබ් ගැන්වීමේ ශක්තිය නැතිකොට) ගැල් අදිමින් පරදාර කර්මයේ විපාක විඳ එම පරදාර කර්මය හේතුවෙන් නැවතත් ඉන් චුතව වැදෑ රට ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද නොවූ නපුංසකයෙක්ව උපන්නේ ය. පසුව මැරී ගොස් තව්තිසා දෙව්ලොව දෙවඟනක් වී උපන්නා ය.

 

මෙසේ නැවත තුන් වතාවක් ම සක් දෙවිඳුගේ පාද චාරිකාවක් වී ද නැවත දෙවරක් ම ජවන නම් දෙව් පුතුට අග මෙහෙසිය වී ද ඉන් චුත වී අංගාති රජු ගේ අග මෙහෙසිය ගේ කුස පිළිසිඳගෙන රූජා නම් රාජ කන්‍යාවක් වී ඒ ආත්මයෙන් අත මිදී තව්තිසා දෙව්ලොව මහත් ආනුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයෙක්ව උපන්නේ ය. මෙසේ පාරමී පුරන්නා වූ මහත් පුණ්‍යවන්තයන්ට පවා සසර පරදාර සේවනය හේතුවෙන් මහත් දුක් විපාක විඳින්නට සිදු විය. එබැවින් සසර සැප කැමති සත් පුරුෂයින් විසින් පර පුරුෂ, පර ස්ත්‍රී සේවනයෙන් තම ජීවිත ආරක්ෂා කර ගනිත්වා.

(නාරද කාශ්‍යප ජාතකය)

 

සත්ව ඝාතනයේ ආදීනව

 

එක් කාලයක දිසාපාමොක් ඇඳුරුතුමෙක් මතක බතක් දෙන්නෙමි යැ යි එළුවෙකු මැරීමට සුදානම් වී, අත වැසියා හට එළුවා නහවා බෙල්ලට මාලයක් පළඳවා ශරීරය අලංකාර කොට ගෙන එන ලෙස දැන්වී ය. එළුවා නහවා තැබූ විට එළුවාට පෙර ඉපිද සිටි ආකාරය බැලිය හැකි ජාතිස්මරණ ඥාණයක් පහළ විය. පසුව එළුවා එකවර ම සිනාසී නැවත ඇඬු හ. මෙය දුටු ශිෂ්‍යයාට එළුවා හා කථා කිරීමට දත් බැවින් ඔහු මෙය එළුවාගෙන් ඇසූ කල ආචාරීන් වහන්සේ ඉදිරිපිට සියල්ල පැවසී ය.

 

තමා පෙර මෙසේ ම දිශාවන්ට ප්‍රධාන ගුරු උතුමෙක්ව සිටිය දී මතක බතක් දීමට එක් එළුවෙකු මරා එකක් අඩු පන්සිය වතාවක් ආත්ම වල දී හිස සිඳලීමට ලක් වූ බව ද, මෙය අවසන් වාරය බව දැක සිනාසුන බව ද පැවසූ හ. අඬන්න හේතුව නම් දැන් තමා මැරීම නිසා මෙතෙක් දිගු කලක් තමාට දුක් විඳීමට සිදු වූ ලෙස බමුණාට ද සිදුවන බව කල්පනාවට ආ හේතූවෙනි. පසුව ඇඳුරුතුමා එළුවා නො මැරුවේ නමුදු හෙණ පහරක් ගල් තලාවකට වැදී ගල් පතුරක් ගැල වී විත් එළුවා ගේ බෙල්ලේ වැදී හිස වෙන්ව එළුවා මැරුණු බව දැක්වේ. එබැවින් සත්ව ඝාතනයෙන් වැළකෙත්වා.

(ජාතක අට්ඨකාථාවේ මතක ගත්ත ජාතකය 149 පිට)

 

බීජක නම් දාසයා ගේ පූර්ව කර්මය

 

ජාතක අට්ඨකථාවේ නාරද කාශ්‍යප ජාතකයේ එන අංගාති නම් රජුගේ රූජා නම් දියණියට අතීත ජාති හතක් ද අනාගතය පිළිබඳ ජාති හතක් ද දැකිය හැකි වේ. මේ රූජා නම් රජ දුව වී ඉපිද සිටියේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එන ආනන්ද හිමි වේ. මෙතුමියගේ ඒ අතීත භවය පිළිබඳව බැලිය හැකි ඥාණයෙන් මෙම බීජක නම් දාසයා දාසයෙකු වීමට හේතුව පූර්වයේ කළ පාපකර්මය බව දැක බලා කීවා ය. මේ දාසයා පෙර ජීවිතයකදී භික්ෂූන් වහන්සේ නමකට ආක්‍රෝශ පරිභව කළ පවින් බව දැක බලා කියන ලදි. එදා ඒ බීජක නම් දාසයා වී ඉපිද සිටියේ මුගලන් මහ රහතන් වහසේ බව දත යුතු ය.

 

සාම කුමරුගේ මව්පිය දෙපල ගේ ඇස් අන්ධ වීමට හේතුව

 

දූකුල කුමාරයෝ හා පාරිකා කුමාරිය පෙර වෛද්‍ය වෘත්තියෙ හි නිරත වී සිටිය දී දෑස් නො පෙනෙන මිනිසකු ගේ ඇස් බෙහෙත්කොට සුව කළහ. පසුව ඇස් සුව කළ ද ගිවිස ගත් මුදල් නො දුන් බැවින් මෙය වෛද්‍යතුමා අඹුවට කී විට, කුලී නො දෙන්නේ නම් ඇස් අන්ධ කරව යැ යි ඈ පැවසීය. අඹුවගේ බස පිළිගෙන ඇස් අන්ධවන සේ බෙහෙත් ගල්වා පෙනුන දෑස් නැවත අන්ධ කළේ ය. ඒ අකුසල බලයෙන් මෙහිදී දෙදෙනාගේ ම දෑස් අන්ධ වූහ. කාශ්‍යප හිමි හා භද්‍රකාපිලානි යන මේ දෙදෙනා පෙර මේ සාම කුමරුගේ මා පියන් වී දෑස් අන්ධ වූ බව දත යුතු ය.

(සාම ජාතකය)

 

මහා පිනැති පුණ්ණා කුමරිය දාසියක වීමට හේතුව

 

මෙතුමිය සැවැත් නුවර වතුර අදින දාසි ගෙදරක ඉපදුණ අතර පුණ්ණා යන නම ඇයට හිමි වූවා ය. පෙර ඕ තොමෝ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන සෑම බුදු සසුනක ම පැවිදිව සිල්වත්, ගුණවත්, බහුශ්‍රැත, ප්‍රියශීලි, ධර්ම කථික මෙහෙණක් ලෙස වාසය කළා ය. බොහෝ ධර්ම කථික බැවින් ජනයා අතර ප්‍රසිද්ධ වූවා ය. තම බහුශ්‍රැතභාවය හේතුවෙන් එක ප්‍රියශීලි මෙහෙණක් පහත්කොට සිතූ පවින් ආත්ම ගණනක් දාසියක් වී උපන්නා ය.

 

මේ දිවියේ ද එසේ කර්මය විපාක දුන් නමුදු පෙර මහණ දම් පිරූ පිනින් රහත් බවට පත් වූවා ය. මානය යනු පහත් ක්ලේශයකි. “මානෝ මක්කටෝ අති මානෝ කුක්කුරෝ” යැයි බුදු රජාණන් වහන්සේ වදාරා ඇති පරිදි මානය හේතුවෙන් වඳුරන් වේ. අධිකව උඩුඟු වීම, අහංකාර වීම හේතුවෙන් සුනඛයන්ව ඉපදේ, මනුලොව මිනිසකු වී ඉපදුන ද පහත් කුලයකම ඉපදේ.

(අපදාන පාලියේ පුණ්ණා ථේරි අපදානය)

 

මෛත්‍රී බුදුරජුන් ගේ ශ්‍රී හස්තයෙහි ගෙඩියක් ඒමට හේතුව

 

පෙර එක් ජීවිතයක අප මහා බෝසතාණන් වහන්සේ රජකුව ඉපිද සිටිය දී මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ඒ රජුගේ ඇත්හලේ ඇතුන් හික්මවන ඇත්ගොව්වා විය. දිනක් රජු ඇතෙකු පිට යද්දී ඒ ඇතාට ඇතින්නියන් ගේ ගඳ දැනී මඳ කිපී කැලෑවට දුවන්නට විය. රජු ඇතුගේ ගමන වළකාගත නො හැකිව ගසක එල්ලී ජීවිතය බේරා ගත්තේ ය. පසුව නගරයට විත් ඇත්ගොව්වා ගෙන්වා නො හික්මුණු ඇතෙකු සරසා දීම පිළිබඳ දොස් නැගී ය. ඇත්ගොව්වා කරුණු කීව ද රජු නො පිළිගත්තේ ය.

 

ඇතු කිහිප දිනක් ඇතින්නන් සමඟ සිට රාග හැඟීම් සපුරාගෙන නැවත ඇත් හලට ආවේ ය. පසුව ඇත්ගොව්වා රජුට මේ ඇතා ගේ හික්මවීම පෙන්වන ලදි. ඇත්ගොව්වා කියන හැම දෙයක්ම ඇතා කරන්නේ ය. අවසානයේදී රත් වූ ගිනියම් වූ යකඩයක් ඇතා වෙත එළවා, මෙය අල්ලව යැයි ඇතාට කීවේ ය. ඇතා කඳුළු පිරි දෙනෙතින් ඇත්ගොව්වා ගේ මුහුණ දෙස බලා සෙනෙහසින් පිරි කීකරු සිතින් ඒ ගිනියම් වූ යකඩය ද අල්ලන ලදි. එහිදී සොඬය චිටි චිටි ගා දැවී ගියේ ය. පසුව වහා එය මුදාහරින්න යැ යි කී විට මුදාහරින්න ලදි.

 

මේ කීකරු ඇතා ද අකීකරු ඇතෙකු මෙන් රාගයෙන් මත්ව ගිය බව සැමට ප්‍රකට විය. එදා ඒ කීකරු ඇතුනම් කාශ්‍යප මහ රහතන් වහන්සේ විය. අනාගතයේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ බුදුවී වේහාර පර්වත පාමුලට වැඩි විට, මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ දේහය (බුද්ධ කාලයේ සිට උන් වහන්සේ ගේ අධිෂ්ඨාන බලයෙන් පර්වත අතර සැඟවී තිබූ), ශ්‍රි හස්තයට ගෙන පෙන්වන සේක. පසුව දේහය බුදු හිමිගේ ශ්‍රී හස්තයේ ආදාහනය වන්නේ ය. මෛත්‍රී බුදු රජුන් ගේ ශ්‍රී හස්තය එයින් දැවී අල්ල පුරා ගෙඩියක් හට ගන්නේ ය. එහිදී පෙර තමා ඇත්ගොව්වෙකුව ඉපිද සිටිය දී කල කර්මය මෙකල පල දුන් බව වදාරන සේක. එබැවින් පාප කර්මයට බිය වෙත්වා.

 

විනයධරයන් අතර අගතැම්පත් උපාලි හිමියෝ කරණවෑමියෙක් වීමට හේතුව

 

මුන් වහන්සේ අනුරුද්ධ හිමි ආදී සය දෙනා හා එකට මහණ වූ අතර ගිහි කල ශාක්‍යයන් ගේ කෙස් රැවුල් බාන කරණවෑමියා විය. බුදු සසුනේ පැවිදිව විදසුන් වඩා රහත් වී විනයධරයන් අතර අගතැම්පත් විය. මෙවන් වාසනා ගුණ ඇති මුන් වහන්සේ මෙසේ පහත් කුලයක ඉපදුනේ, පෙර අඤ්ජද රජුගේ පුත් චන්දන කුමරු වී සිටිය දී, දිනක් සිරික නම් ඇතු පිටින් යද්දී දේවල නම් පසේබුදුන් තමා ඉදිරියේ නො නැවතී එනවා දැක, කිපී පසේ බුදුන්වහන්සේ හා ගැටීමට ඇතා මෙහෙයවන ලදි. නමුත් ඇතා නිශ්චලව සිටි බැවින් කිසිවෙකුටත් වරදක් නො වුවද හිතේ ඇති වූ පහත් කෝපය නිසා පසුව ශරීරය බොහෝ දැවිලි සහගත විය. පිය රජුට කියා පසේ බුදුන්ගෙන් සමාව ගත් නමුදු කළ කර්මයේ විපාකය නැවැත්විය නො හැකි බැවින් මෙසේ අනුන්ගේ කෙස් රැවුල් බාන කරණවෑමියෙක් ව ඉපදුන බව වදාරා ඇත.

(ථේර අපදානය)

අම්බපාලි වෛශ්‍යාවක් විමට හේතුව

 

මෙතුමිය විශාලා මහ නුවර අඹ උයනක අඹ අතු අතර ඕපපාතිකව (මාපියන් නැතිව) පහළ වූවා ය. ඇයගේ විශිෂ්ඨ රූපය නිසා සියළු රජ දරුවන්ට, සිටුවරුන්ට පාරිභෝගයට නගර සෝභනියක් ලෙස ප්‍රසිද්ධ කරන ලදි. ඈ මෙලෙස අසරණියක් වූයේ, සිඛී බුදු සසුන කාලයේ මෙතුමිය බ්‍රාහ්මණ කුලයක ඉපිද කිපුණු සිතින් රහත් මෙහෙණකට “වෛශ්‍යාවක් මෙන් අනාචාර ඇතිව බුදු සසුන දූෂණය කරන්නී ය” යැ යි ආක්‍රෝෂ කල බැවිනි. ඒ පවින් නිරා දුක් විඳින්ට ද විය. දස දහසක් ජාතියන් හී ගණිකාවක් ම වූවා ය. නපුරු වූ විෂක් අනුභව කළාක් මෙන් ඒ පාපයෙන් ගැලවී ගත නො හැකිව මේ අවසන් දිවියේදී ද ගණිකාවක්ව ම වූවා ය. පසුව බුදු සසුනේ පැවිදිව රහත්ව සම්බුදු දුවණියක් වූවා ය.

(පරමත්ථ දීපණී නම් ථේරී ගාථාට්ඨකථා - 162 පිට)

 

බොහෝ ස්වාමිපුත්‍රයන්ට ද හිඟමනේ ගොස් ජීවත් වූ මිනිසාට ද එපා වූ අහිංසකාවිය

 

මෑ නමින් ඉසිදාසිය විය. අවන්ති රට සිටුතුමා ගේ එකම දුව විය. තම තත්වයට ගැලපෙන සිටු පවුලක සිටු පුත්‍රයෙකු හා සරණ ගියා ය. ඈ අනලසව පණ්ඩිතව උත්සහවන්තව දාසියක් මෙන් සියළු කටයුතු තම ස්වාමියාට කර දුන් නමුත් නිරන්තරයෙන් ම ඒ සිටු පුත්‍රයා ඇයට බැණ වදින්නේ ය. අවසානයේ ඔහු විසින් ඇයව මාපියන් වෙත පිටත් කරන ලදි. ඉසිදාසිය ගේ පියා ඇයව නැවත මධ්‍යම පාන්තික සිටුවරයෙකුට සරණ පාවා දුන්නේ ය. ඒ සිටු පුත්‍රයාට ද තම ජීවිතය මෙන් ආදරය කළේ ද, සෙනහස දැක්වුව ද මැයගේ පෙර කර්මය නිසා ඔහුට ද එපා විය. ඔහු ද මෙතුමිය දෙමව්පියන් වෙත යැව්වේ ය.

 

පසුව සිටු පියා පාරේ ඉඳුල් කමින් යන හිඟන්නෙකු දැක ඔහු තම දුවට ස්වාමි කොට දී ඒ සිටු මැදුරේ ම නැවැත්වි ය. මහා පුදුමයකි, අහෝ කර්මයේ ඇති බලවත්ක ම නම් මැය ඔහුට ද ආදරයෙන් සෙනෙහසින් මවක් මෙන් ද සයනෙහි වෙසඟනක් මෙන් ද කටයුතු කල නමුදු මේ හිඟන මිනිසාට ද ඇය එපා වී සිටු මැදුරෙන් බැහැර වී යන්නට විය. අහෝ මේ අකුසල කර්මයන්ට නින්දා වේවා! පසුව ඈ මහණ වීමට හෝ සිය දිවි නසා ගැනීමට තීරණය කළා ය. පෙර පින් ඇති ඇය මහණ වී දින හතකින් රහත් වී ත්‍රි විද්‍යා ලාභී වූවා ය. මේ රහත් මෙහෙණින් වහන්සේ තමාගේ පූර්ව කර්මය බලා මෙසේ කීවා ය. ඇය පෙර ඒරකච්ච නුවර මහත් ධන ඇති රන්කරුවෙක්ව සිටිය දී තරුණ මඳයෙන් මත්ව පරදාර සේවනයේ යෙදී දිගු කලක් නිරා දුක් විඳ ඉන් මිඳී වැඳිරියක කුස පිළිසිඳ ගෙන ඉපදුන කල්හි නායක වඳුරා මේ කුඩා වඳුරාගේ පුරුෂ ලකුණ විනාශ කළේ ය. මෙයද පරදාර සේවනයේ දුක් විපාකයකි. පසුව මියගොස් අන්ධ වූ කුදු වූ එළදෙනක කුස පිළිසිඳ බිහිවූ අතර එහිදී ද බීජෝද්ධාරණය කරන ලදි. තව ද පුරුෂ නිමිත්ත ප්‍රදේශයේ පණුවන් ගසා අවුරුදු 12 ක් මහත් සේ දුක් විඳින්නට විය. මෙය ද පරදාර සේවනයේ විපාකයකි.

 

 

පසුව අන්ධ වී මහත් දුක් විඳ මැරී දාසියක කුස නපුංසකයෙක්ව ඉපදුණි. පසුව මැරී දිළිඳු වූ අසරණ පවුලක උපන්නා ය. ගිරිදාස නම් ගැල් අයිති තරුණයෙක් හා විවාහ වූ අතර ඔහුට තවත් බිරිඳක් ද විය. එබැවින් මේ දිළිදු කත ඒ බිරිඳ කෙරෙහි ස්වාමි පුත්‍රයා බිඳවා තමා ගේ වසඟයේ ම පවත්වා ගැනීමට විද්වේෂණ කර්මය කළා ය.

 

(ස්වාමියට ඒ බිරිඳ පෙනෙන විට අතිශයින් කිපෙන සේ කරන කටයුත්තකි). ඒ කළ පහත් අකුසලය හේතුවෙන් මේ දිවියේදී ඈ තම ස්වාමියාට කොපමණ ආදරය කලත්, සෙනෙහස දැක්වුවත්, දාසියක් මෙන් සියළු වැඩපළ කළත් හොඳක් නම් අසන්නට නො ලැබුණිය. ඈ සියළුම ස්වාමි පුත්‍රයන්ට එපා වූහ. පාරේ ඉඳුල්කමින් ගිය හිඟන මිනිසාට ද එපා විය. එබැවින් සත්පුරුෂයනි, කර්මයේ ඇති බරපතලක ම තේරුම් ගෙන අතිශයින් ම ප්‍රවේශමින් අකුසල් නො කොට ජීවත් වෙත්වා.

(ථේරී ගාථා වත්ථාලීස නිපාතය - ඉසිදාසි ථේරිය)

 

අනුන් ගේ වැසිකිළි පිරිසිදු කොට ජීවත් වන අසරණ සුනීතගේ පූර්ව කර්මය

 

මෙතුමා පෙර එක් ජීවිතයක දඟකාර කුඩා ළමයෙකුව සිටිය දී දිනක් පසේබුදු කෙනෙක් දැක. “මොකද නුඹ වහන්සේ තුවාලකාරයෙක් වගේ මුළු සිරුර ම පොරවාගෙන පිණ්ඩපාතෙ යන්නේ? මොකද ඔබ වහන්සේට බැරි ද කෘෂිකර්ම ආදී රැකියාවක් කොට ජීවත් වන්න? ඉඳින් ඔබට මොනවත් බැරිනම් අනුන් ගේ වැසිකිළිවල අසූචිවත් ඇද ජීවත්වන එකනේ තියෙන්නේ” යැ යි කියන ලදි. මෙහි විපාක වශයෙන් නිරයේ පැසී පසුව බොහෝ ආත්ම සිය ගණනක් අනුන් ගේ වැසිකිළිවල අසූචි අදින පුද්ගලයෙක්ව ජීවත්වන්ට සිදු විය.

 

අප බුදු සසුන කාලයේ ද රජගහ නුවර අනුන් ගේ වැසිකිළි පිරිසිදු කරන අසරණයෙක්ව ඉපදුණි. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ගේ කරුණා දැලට හසුව පෙර පාරමී ඇති මෙතුමා පැවිදි කල අතර නොබෝ දිනකින් විදසුන් වඩා රහත් වී ඖරස පුත්‍ර උතුමෙකු වුණා.

(පරමත්ථ දීපනී ථේර ගාථට්ඨ කථාව 540 පිට)

 

මෝඝරාජ හිමියන් ගේ මහා කුෂ්ඨ රෝගයට හේතුව

 

අප බුදු සසුනෙහි රළු සිවුරු දරන භික්ෂූන් අතර අග තැම්පත් වූ මේ හිමියෝ උපත ලබා සිටියේ රජ කුලයක ය. සීයාගේ ඇවෑමෙන් රජ වූ නමුදු මහත්වූ කුෂ්ඨ රෝගයකින් දුක් විඳි බැවින් රජ සැප ද හිස් එකක් ම විය. එබැවින් මෝඝරාජ යැ යි ප්‍රසිද්ධ විය. පසුව සසුනේ පැවිදිව රහත් විය. මේ මහා කුෂ්ඨ රෝගයට හේතුව නම් පියුමතුරා බුදු සසුනේ පැවිදි වී සිටිය දී ආසන ශාලාවක බිම ගිනි තැබීම වේ. ඒ හේතුවෙන් අවුරුදු 1000ක් නිරයේ පැසුණු අතර ආත්ම පන්සීයක ම උසස් කුලවතෙක් වුණත් උපතින් ම ශරීරයේ ලප කැළල් (උපන් ලප) බොහෝ ඇත්තෙක් වී ඇත. මේ පශ්චිම දිවියේ ද වාත රෝගයකින් මහා දුක් ගෙන දී ඇත.

(අපදාන පාලිය 540 වන අපදානය)

 

දබ්බමල්ලපුත්ත හිමි අමූලික බොරු චෝදනාවලට ලක් වීමට හේතුව

 

දබ්බමල්ල පුත්ත හිමි සත් අවුරුදු වියේදී පැවිදි වී රහත් වූ අතර උපන් දා සිට සිහිනෙනුදු මෛථූන ධර්මයෙහි යෙදී නැත. නමුදු මෙත්ථියා මෙහෙණ තමා දූෂණය කළේ යැයි බුදුරජුන් හමුවේ පවා බොරු චෝදනා කළා ය. සවඟ භික්ෂූන් සඟ පිරිස මැද ළාමක හැසිරීම් සම්බන්ධව බොහෝ චෝදනාවන් එල්ල කළහ. එසේ අභූත චෝදනාවට ලක් වීමට හේතුව මුන් වහන්සේ පෙර විපස්සී බුදු සුසුනේදී පිරිසිදු සිල් ඇති භික්ෂූන් වහන්සේ නමකට උන්වහන්සේ පිරිසිදු භික්ෂුවක් යැ යි දැන දැන ම අමූලික චෝදනාවක් කොට නින්දා කල බැවින් බව අපදාන පාළියෙහි දැක් වේ.

 

උපන්දාම ගඟේ පාකර දැමූ කිරිකැටි බිළින්දෙකු ගේ අභිමානවත් කථාව

 

අකුසල කර්මවල අසෝභන විපාකත් කුසල කර්ම වල සෝභන විපාකත් මේ කථාවෙන් ද මනාවට පෙන්නුම් කරයි. සත්පුරුෂ පින්වතුනි, පෙර ඈත අතීතයේ කාශ්‍යප බුදුන් ගේ පිරිනිවීමෙන් පසු බුදුරජුන් ගේ ඒකඝණ ධාතු නිදන් කොට යොදුනක් උසට චෛත්‍යයක් කරන සමයේදී මහ රහතන් වහන්සේ නමක් චෛත්‍යයට රත්ත්‍රං සම්මාදම් කරමින් එක් රන්කරුවකු ගේ නිවසට වැඩි සේක. එවිට රන්කරු තම භාර්යාව සමඟ කලහ කරමින් සිටි බැවින් තෙරුන් වහන්සේ ඔබලාගේ චෛත්‍යයෙහි වැඩ නිමවීම සඳහා රන් නො පෙනෙනා බව මතක් කල විට භාර්යාව සමඟ තිබුණු කෝපයෙන් “නුඹ වහන්සේ ගේ ශාස්තෘන් වහන්සේ ජලයේ දමා යන්නැ යි” කීවේ ය. ඒ මොහොතේ තම භාර්යාව කෙරෙහි කෝප වුනි නම් මට නො බැන බුදුරජාණන් වහන්සේලාට වෛර කිරීම (දොස්කීම) වැරදි බව කී විට රන්කරු සංවේගයට පත්වී තෙරුන් වහන්සේගෙන් සමාව ඉල්ලී ය. බුදුරජුන්ගෙන් එයට සමාව ගන්න කී විට කුමක් කොට සමාව ගත යුතු දැයි අසා, රනින් මල් පොකුරු තුනක් කොට චෛත්‍යයේ නිදන්කොට තෙත් වූ කෙස් ඇතිව සමාව ගත යුතු බව මතක් කොට උන්වහන්සේ වැඩි සේක.

 

පසුව රන්කරු රනින් මල් සාදමින් තමාගේ පුතුන් දෙදෙනාගෙන් වැඩිමහලු පුතාට ඒ සඳහා උදව්වට කතා කල නමුත් ඔහුගෙන් ලැබුනේ “ඔබ කළ වරද ඔබම බලා ගන්න” කියා ය. දෙවැනි පුතාත් කැඳවා කී නමුත් යහපත් ප්‍රතිචාරයක් නො වීය. ඔහු ද පෙර සේම කීවේ ය. මව්පියන්ට ආදරය ඇති තුන්වන පුතාට මතක්කල පමණින් පිළිගෙන “මව්පියන්ට උපන් කෘත්‍ය දරුවන්ට බාරයි නේද” සිතා පියාට සහය වී දෙදෙනා සමඟ මල් පොකුරු තුනක් සාදා ධාතු නිධානයේ නිදන්කොට සමාකර ගත්තේ ය.

 

මෙසේ මොහු බුදුන් වතුරේ දමන්න කී පවින් හත්වාරයක්ම බිහිවුන කාලයේ ම ජලයේ දමන ලද්දේ ය. අවසාන ආත්ම භවයේ අප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ බරණැස් නුවර එක් සිටු කුමාරිකාවක් කුස විජ්ජාධරයෙක් (මන්ත්‍ර බලයෙන් අහසින් යන) නිසා පිළිසිඳගෙන, හොර රහසේම දස මසක් කුස දරා මෙලොවට බිහිකර තම දාසියත් සමඟ සාකච්ඡාකොට අළුත් භාජනයක් ගෙන්වා මේ කිරිකැටි දරුගැබ් මළපවා නො සෝදා එහි දමා, එය මනා කොට වසා මල්මාලා වලින් සරසා තමන් ගේ බාරයක් ඔප්පු කිරීමක් යැ යි දාසිය ලවා, නිසොල්මනේ ගඟේ පා කර හැරියා ය. අද සමාජයේ අපට නො දැනුවත්ව මෙ බඳු දේවල් මොනතරම් වෙනවා ද? කෙසේ හෝ පෙර පින් ඇති පශ්චිම භවික කිරි කැටියා ගඟ පහල නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් කාන්තාවක් ලබාගෙන දරුවා සෝදා පිරිසිදු කොට පෝෂණය කළා ය. කෙස් කරකැවී කැටිගැසී තිබුණු නිසා ජටිල කියා නම තැබුවා ය. මේ කාන්තාව මහා කච්චායන මහ රහතන් වහන්සේ ගේ උපස්ථායිකාවක් බැවින් උන්වහන්සේට මහණ කරන්න කියා කුඩා වයසේදී ම පූජා කළා ය. මහ රහතන් වහන්සේ මේ දරුවා බැවිනුත් මහත් විඳින්න තරම් පුණ්‍යවන්තයෙක් නිසා ද රැගෙන ගොස් වෙනත් උපස්ථායක කුලයකට පෝෂණය කරන්න බාර කළහ. ඒ නිවසේ ගෙහිමියා ද ආදරයෙන් රැක බලාගෙන දරුවා ගේ පින් මහිමය කරුණු සහිතව දැනගෙන තමන්ගේ දූ කුමරිය මොහුට සරණ කොට දුන්නේ ය.

 

අළුත් නිවසට ගිය මේ දෙදෙනා නිවසට පැමිණීමත් සමඟම ඒ ජටිල තරුණයා ගේ පෙර පිං මතු වී නිවසට නැගෙනහිරින් අසූරියන් රන් පර්වතයක් පහළ විය. මෙය දැනගත් රජුගෙන් සිටු තනතුරක් ලබා ජටිල සිටු නමින් අමිත භෝගී සිටු කෙනෙක් විය. මොහුට පුත්‍රයන් තිදෙනෙක් විය. ඒ දරුවන් වැඩිවියට පත් වූ පසු පැවිදි වීමේ අදහසින් යුතුව ඒ පුත්‍රයන් කැඳවා රන් දණ්ඩක් ඇති වජිර තලයක් සහිත උදැල්ලක් දෙටු පුතාට දී රන් පර්වතයෙන් රන් පිඬක් රැගෙන එන ලෙස කීවේ ය. දෙටු පුතා ද උදැල්ලෙන් රන් පර්වතයට පහර දුන්නත් ගලකට ගැසුවාක් මෙන් විය. දෙවැනි පුතා ද එසේ ම පිටත් කළ නමුත් රන් නො කැපුනු බැවින් බාල පුතා පිටත් කළේ ය. බලන්න පින්වතුනි පෙර තාත්තාට රන්මල් හදා චෛත්‍යයට පූජා කිරීමට සහය වූ බැවින් හරියට මැටි ගොඩක් ගන්නාක් මෙන් රත්ත්‍රං කැපි කැපී යන්න පටන් ගත්තේ ය. වැඩිමහල් සොහොයුරන් දෙදෙනා පෙර රන්මල් සෑදීමට සහය නොවූ බැවින් ඔවුන්ට රන් ලබාගැනීමට නො හැකි විය. පසුව සිටුතුමා පුත්‍රයන් තිදෙනාව කැඳවා “ මේ රන් පර්වතය නුඹලා සඳහා පහළ නො වුවේ ය, මටත් බාල පුතු සඳහාත් පහළ වූවකි. ඒ නිසා මල්ලිත් සමඟ එකට පරිභෝජනය කරන්නැ යි” බාරකොට පැවිදිව අග්‍ර අමා මහා නිර්වාණ ධාතුව අවබෝධ කළේ ය. ඒ නිසා සත්පුරුෂ දරුවන් තම දෙමාපියන් ගේ කටයුතු බොහෝ ආදරයෙන් කර දෙත්වා. කිසිවෙකු කිසි කලෙක තෙරුවන්ට නිග්‍රහ නො කරත්වා.

 

රහතුන් හෙළා දැක රඟ දක්වා ජීවත් වන්නා වූ අඹුසැමි යුවලක ගේ කථාව

පෙර අතීතයේ කාශ්‍යප බුදු රජුන් ගේ රන් චෛත්‍යය කරන කාලයේ බරණැස් නුවරවාසී බොහෝ කුල පුත්‍රයෝ චෛත්‍යයේ වැඩ කිරීම සඳහා බොහෝ කෑ යුතු, බුදිය යුතු ආහාරත් ගෙන චෛත්‍යය ස්ථානයට යන අතර මඟදී එක් රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වඩිනවා දැක, ඒ පිරිස අතරේ සිටියා වූ එක් කුල දියණියක් තම ස්වාමියාත් සමඟ කතාකොට ඒ මහ රහතන් වහන්සේට දානය පූජා කොට ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය අවබෝධ කර ගැනීමට අපිත් භාග්‍යවන්තයෝ වෙත්වායි ප්‍රාර්ථනා කළහ. ඒ මොහොතේ මහ රහතන් වහන්සේට මේ දෙදෙනා ගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වන බව දැක මඳ සිනාවක් පහල විය. එසේ සිනහසීම දුටු අර යුවතිය තම ස්වාමියාට “ස්වාමීනි අපේ ආර්යන් වහන්සේ නැට්ටුක්කාරයෙක් මෙන් සිනාසෙන්නේ යැ යි” කී අවස්ථාවේ මෙය අනුමත කරමින් තම ස්වාමියාද එහෙම වෙන්න ඇතැයි කියා දෙදෙනාම යන්නට ගිය හ.

 

මොවුන් දිවි ඇතිතාක් වාසය කොට දෙව්ලොව ඉපිද එයින් චුතව ඒ කාන්තාව අප බුදුන් කාලයේ නැට්ටුක්කාර නිවසක ඉපදුණා ය. එම තරුණයාද රජගහ නුවර සිටු ගෙදරක උපන්නේ ය. මෙසේ කාලයා ගේ ඇවෑමෙන් අර නාට්‍යය රඟ දක්වන්නෝ ද තම දියණිය ද එම නාට්‍ය රංගන දැක්වීමෙහි හුරු පුරුදුකොට තම දියණියත් සමග ගම් නියම්ගම්වල රඟ දක්වමින් රජගහ නුවරට පැමිණ රජු ඇතුළු ජනතාවට නාට්‍ය රංගන (සර්කස්) දක්වන්නට විය. මුලින් කී සිටු පුත්‍රයා ද මේ රංගන බලමින් අර නැට්ටුක්කාර තරුණිය උණ ගසක් මත නැගී නොයෙක් ආකාරයේ නැටුම් ගී කීම් ආදිය කරනවා දැක පූර්වේ තිබූ සෙනෙහස නිසාදෝ ඇය කෙරෙහි ආදරයක් ඇතිකර ගත්තේ ය. පසුව තම දෙමව්පියන් ගේ අකමැත්ත පසෙකලා ආයාචනා කරද්දී ම, ඒ තරුණිය කෙරෙහි බැඳිමෙන් ඒ රඟ දක්වන්නන් සමඟ ඔවුන් ගේ බඩු බාහිරාදිය උසුලමින් දාසයෙක් මෙන් තරුණිය වෙනුවෙන් මඟට බැස්සේ ය. එසේ නමුත් ප්‍රේමය ආදරය කියන දෙය සිතුවිල්ලක් අස්ථීර දෙයක් බව පෙන්වමින් ස්ත්‍රීන්ට වසඟ වීමෙන් ඇයලා පිරිමි හෙලා දකින්නේ ය යන පඬි වදන සනාථ කරමින් එදා ඒ තරුණයාට කිසි ශිල්පයක් නොදන්නෙක්, අනුන්ගේ බඩු බාහිරාදිය උසුලන්නෙක් කියමින් අහන්නට ලැබුණු නින්දා බස් නිසා කලකිරුණේ ය.

 

පසුව ඇය ගේ මානය, ශිල්ප දත් නිසා බව දැන ඇයගේ පියාගෙන් ඒ රංග ශිල්පය ඉගෙන මහජනතාවට ශිල්ප දක්වමින් ගම් නියම්ගම් රාජධානිවල සැරිසරමින් රජගහ නුවරට ද පැමිණියේ ය. එහිදී මහජනයා මැද රියන් 60ක් උස උණ ගසක් මත නැගී නොයෙක් ආකාරයේ රංගන (සර්කස්) දක්වන මොහොතේ බුදු කරුණා ඇසට අසු වූ සිටු පුතුට පිහිට වීමට බුදුරදුන් මහා සඟ පිරිසද සමඟ එහි වැඩිය හ.

 

එහි වැඩම කොට ජනතාව තමන් වහන්සේ වෙත අවනත කර, එයින් අමනාප වූ රංගන තරුණයා මුගලන් තෙරුන් ලවා උත්සාහවත් කොට සංසාරික අනේක දුක් සාගරයෙන් ගොඩ ගනිමින් ඔහුට දහම් දේශනාකොට වදාළ හ. පෙර පින් ඇති නළුවෙක් වූ උග්ගසේන සිටු කුමාරයා උණගස මත්තෙහි සිටිමින් ම සිව්පිළිසිඹියා සහිත රහත්භාවයට පැමිණ නිවන් අවබෝධ කළේ ය.

 

බලන්න කාරුණික පින්වතුනි, පින්වතියනි එදා මහ රහතන් වහන්සේ නමකට නැට්ටුක්කාරයෙක් කියා ඒ කාන්තාව, රඟ දක්වා ජීවත් වන කුලයක ඉපදුණා ය. එය අනුමත කල පුරුෂයා ද සිටු කුලයක ඉපදුණත් පසුව නැට්ටුවන් සමඟ හැසිරෙන්නට සිදු විය. එදා මහ රහතන් වහන්සේට දන් දී නිවන් ප්‍රාර්ථනා කල බැවින් ඒ රඟ දැක්වූ තරුණිය ද පසු කලෙක පැවිදි වී නිවන් අවබෝධ කළා ය.

 

අසීමිත ගුණැති අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේට ද විපාක දුන් කර්ම දොළහ

 

දශබලධාරී බුදුරජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම දොළහක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී පන්සීයක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව එය මෙසේ ය.

 

1)  සුන්දරී පරිබ්‍රාජිකාව නො කල්හි විහාරස්ථානයට එන යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගුනා. ඊට හේතුව පෙර මුනලීධුර්තකව සිටිය දී සරභූ නම් පසේබුදු රජුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.

 

2)  පෙර ලොව පහල වූ සබ්බාභිඟු නම් බුදු රජුන් ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාම භෝගියා කියා දොස් නැගීම හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකටත් පෙර කරන ලද කර්මය, බුදුබව ලබා ද බඩදරු අම්මා ගේ වෙස් ගත් චිංචිමානවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් වුණා.

3)  පසු කලෙකදී සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදුරජුන් ඇයව දූෂණය කොට මරා සඟවන ලද්දේ යැ යි මහත් දෝෂාරෝපණයක් දින හතක් තුල පැවතුණි. දින හතකින් පසු සත්‍ය හෙලි වූ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් සෘෂීන් වහන්සේට බැණ වැදීම බව දත යුතු ය.

 

4)  මහබෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දෙන් පහලට තල්ලුකර ගලක් දමා මරා දැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත්තෙර ගල් පෙරළු බව දත යුතු ය.

 

5)  බෝසතුන් දිනක් කුඩා ළමයෙකුව සිටිය දී පසේබුදු කෙනෙක් දැක ගලකින් ගැසුවා. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ බුදුන් ගේ ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙද වූ බව දත යුතු ය.

 

6)  පෙර බෝසතුන් ඇත් ගොව්වකුව සිටිය දී පසේබුදු කෙනෙක් වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙය වූ නමුත් උන්වහන්සේ සෘද්ධියෙන් වැඩිසේක. නමුදු පහත් සිතින් කල කර්මය නිසා මේ ජීවිතයේ තමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාළාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළා.

 

7)  දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුලු පව්වේදී මහගලක් සක්මන් කරන බුදු හිමියන් ගේ හිස මතට පෙරළු නමුදු පෙර පිරූ පාරමී බලයෙන් මහ ගලක් පොලොවෙන් මතු වී ඒ ගල වැටෙන්න නොදී රඳවා ගත්තා. නමුත් ගල් පතුරක් ගැලවී විත් ශ්‍රී පතුලේ ගැටී මහපට ඇඟිල්ල තැලී ලේ කැටි ගැසුනා. ජීවක වෛද්‍යතුමා ශ්‍රී පතුල පලා ලේ අස්කල ද මෙසේ ශ්‍රී පතුල පලන ලද්දේ පෙර පෘථිවීශ්වර රජව සිටිය දී මිනිසෙකු මරවන ලද පවින් බව දත යුතු ය.

 

8)  තථාගතයන් වහන්සේ ගේ සුව නො වන හිස රුදාවට හේතුව පෙර කෙවුල් පවුලක ඉපිද සිටිය දී තම ඥාතීන් බොහෝ මසුන් ගොඩදා තිබෙනු බව දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු ය. එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීන් මේ ජීවිතයේ ද ඥාතීන්ව ශාක්‍ය කුලයේ ඉපදුනා. ඒ සැමටද ඒ ප්‍රාණඝාත කර්මය විපාක දීම් ලෙස විඩූඪභ කුමරු අතින් මිය යන්නට වූ බව දේශණා කර ඇත.

 

9)  තුන් ලෝකය පුරා පැතිරුණු දායක උපස්ථායක, ශ්‍රාවක, ශ්‍රාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට දොළොස්වන වස් කාලයේ එක් බත් ඇටයකුදු නො ලැබුණි. අශ්වයන්ට දෙන යව හාල් වැළදීමට සිදු වුණා. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදුරජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි, යව හාල් වැළඳුවානම්” කියා දොස් නැගු පාපය බව දත යුතු ය.

 

10)          සුගතයන් වහන්සේට සුව නො වන කොන්දේ ආබාධයක් පැවතුණි. ධර්ම දේශනා කරන අවස්ථාවල එය උත්සන්න වූ විට සැරියුත් හිමිට දහම් දෙසුම පවරා විවේක ගැනීමට වඩිනා බව සඳහන් වේ. මෙයට හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයෙකුව සිටිය දී විරුද්ධවාදී මල්ලව පොරකරුවෙකු ගේ කොන්ද කැඩූ පාපය බව දත යුතු ය.

 

11)          බුදුරදුන්ට වැළඳුනු ලෝහිත පක්ඛන්දිකා (ලේ අතීසාරය) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයෙකුව සිටිය දී සිටුවරයෙකුට බෙහෙත් කළ නමුත් නියමිත මුදල් නො ගෙවූ බැවින් පසුව විරේක බෙහෙත් දුන්නේ ය. ඔහුට ලේත් සමග විරේක වූ බැවින් සිටුවරයා බියව නියමිත මුදල් ගෙවී ය. ඒ කර්මය විපාක දුන් බව මෙයින් දත යුතු ය.

 

12)          මහා බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වූයේ පෙර ජෝතිපාල මානවකයාව සිටිය දී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට “ඔය මුඩු මහණාට බුද්ධත්වයක් කොයින් ද? එය අතිශයින් දුර්ලභ එකකැයි ” දොස් කී පාපය යැයි දත යුතු ය.

 

සත්පුරුෂ පින්වතුනි! බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසස් ඇති මහ රහත් වූ පිරිවර සම්පත්තියක් ඇති මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් සෘද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට ද පූර්වේ කරන ලද කර්ම සඳහා එන විපාක වලින් බේරී සිටීමට නො හැකි නම්, එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක් නුවණක්, පිරිවරක් සෘද්ධි බලයක් නැති ඔබ අප වැන්නවුන් කෙසේ නම් ගැලවෙන්න ද? එබැවින් පසුතැවිලි වන්නට සිදුවන දෑ නො කරන්න. කිසි දිනක කාහටවත් දුකක් පීඩාවක්, සිත් තැවුලක් ඇති නො කරන්න. කිසිවෙකුට හිංසාවක්, පීඩාවක්, දුකක්, දොම්නසක්, කරදරයක්, විපතක්, වෙහෙසක් නො කරන්න.

 

කුසල විපාක

 

සත්පුරුෂ පින්වතුනි, මෙහිදී බලාපොරොත්තු වන්නේ “කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමිති” යන ධර්ම පාඨය විස්තර කිරීමට වේ. ඒ අනුව

 

(1) යහපත් කර්ම වලට ලැබෙන යහපත් විපාක ද

 

(2) අයහපත් කර්ම වලට ලැබෙන අයහපත් විපාක ද

 

පෙන්වනු ලැබේ. අප විසින් මුලදී යහපත් අයහපත් කර්ම මොනවා ද කියන බව පැහැදිලි කරන්නට යෙදුනි. දැන් අප ඒ ඒ කර්මයන් ගේ විපාක දක්වන්නෙමු. යහපත් කර්ම අතර මුලින්ම සඳහන් කලේ ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා ධර්ම වේ. ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා ධර්ම නම් දාන, ශීල, භාවනා වේ. ඒ අනුව අපි පළමුව ම දාන විපාක දක්වන්නෙමු.

(අං. නි. පඤ්චක නිපාතයෙහි සිහසේනාපති සූත්‍රය)

 

 

දානයේ ආනිසංස

සාන්දෘෂ්ටික (මෙලොවම තමා විසින් දැක ගත හැකි) දානානිසංස සතරක් පෙන්වා ඇත,

o   දායක තෙමේ බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වේ.

o   දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.

o   ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේ. මකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.

o   යහපත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේ.

 

එසේම දානානිසංස සූත්‍ර‍යට අනුව,

 

o   ගිහි ධර්මයන්ගෙන් නො පිරිහුන කෙනෙක් වන බව දක්වා ඇත. අඛණ්ඩව සිල් ආදී ගුණ, පන්සිල් ආදී ගුණ රකින්නෙකු යන අර්ථය යි.

o   තව ද මරණින් මතු සුගති ලෝකයක ඉපදීමට ද මෙම දානමය පිංකම හේතුවන බව පෙන්වා දී ඇත.

 

පින්වතුනි, තව ද සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සූත්‍රයට අනුව මෙසේ ය.

 

සත්පුරුෂ දාන ආනිසංස පහ

 

o   ශ්‍රද්ධාවෙන් දන්දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ. එබැවින් ශ්‍රද්ධාවෙන් ම දන් දෙත්වා !

o   සකස්කොට දන්දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹුදරුවන් ස්වාමිපුත්‍රයන් දැසි දස්සන් ලැබේ. (එබැවින් දෙන දෑ සකස් කොට දීමට පුරුදු වන්න)

o   ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේ දී බොහෝ සැප සම්පත් ලැබේ.

o   ලෝභයකින් තොරව දන්දීම හේතුවෙන් හොඳ ආහාරපාන, යානවාහන, ගේදොර ආදිය පරිභෝජනය කිරිමට සිත් නැමෙනු ඇත. ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.

o   තමා ද අන් අය ද වෙහෙසට පත් නො කොට ධාර්මික වස්තුවෙන් දන්දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන්, අකීකරු දූ දරුවන්ගෙන් විනාශ වී තමාට අහිමි නො වේ. ලැබෙන සම්පත් සුරක්ෂිත වේ කියා ය.

 

සත්පුරුෂ පින්වතුනි! තවත් දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ

 

o   තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්‍යයන් ඊට සහභාගී කර නො ගනී. ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.

o   තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට ඒ අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.

o   තමා ද දන් නො දෙන අතර දෙන දානයකට ද සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙක ම නො ලැබේ.

o   තම ධනය ද යොදා අන් අය ද ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙකම ලැබෙනු ඇත.

 

ශ්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නො විසිරුන සිතින් දෙන පුංචි දෙයක් වුව ද මහත් ඵල වන බව පෙන්වීමට අපදාන පාලියට අනුව කරුණු පෙන්වා දෙමි.

(ධම්ම පදට්ඨ කථා 46 පිටුව)

 

 

මල් පූජාවේ ආනිසංස

 

පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජා කළ පිනෙන් මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනා. හත්සිය වතාවක් පෘථුවි රාජ්‍ය කලා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වූ බව පෙන්වා ඇත.

(අපදාන පාලි බු:ව: 193 පිට)

 

තිඋප්පලමාලිය හිමි විපස්සී බුදුරජුට උපුල් මල් තුනක් පුදා කල්ප අනූ එකක් දුගතියකට නො යන ලදී. මේ පිනෙන් තුන්සිය වතාවක් සක් දෙව් රජ වී ඉපදුනා. පන්සිය වතාවක් සක්විති රජ වුණා. අවසානයේ නිවන් දැකීමට ද මේ පින උපනිශ්‍රය වුණා. බලන්න සත්පුරුෂයෙනි, හැදුනු සිතකින් පින්කම් කිරීමේ අගය.

(අපදාන පාලිය 342 අපදානය)

 

සත්තුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිඛී බුදුරජාණන් වහන්සේට මානෙල් මල් සතක් එකඟ සිතින් නුවණ යොදා පිදූ පිනෙන් වාර හැත්තෑ හතක් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු ගේ බිරිඳ වී උපන්නා ය. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම දිවියකදී ම ලැබුණු අතර අවසානයේ නිවනට ද මේ උතුම් පින උපනිශ්‍රය විය.

(ථේරි අපදානය 8)

 

තිකණිකාර පුප්ථිය හිමි සුමේධ බුදු රජාණන් වහන්සේට කිණිහිරියා මල් තුනක් පැහැදුන සිතින් නුවණ යොදා පූජා කල පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජවිය. පන්සිය වතාවක් සක් දෙව් තනතුර ද හැම ජීවිතයකදී ම පහත සදහන් විපාක ද ලැබුණා හ.

o   මහත් භෝග සම්පත් ඇත්තෙකු වුණා.

o   පහත් කුලවල නො ඉපිද උසස් කුලවල ම ඉපදුනා.

o   කැමති කැමති යාන වාහන ලැබුණා.

o   බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසි දස්සන් ලැබුණා.

o   බොහෝ අගනා වස්ත්‍රාභරණයන්ට ලාභී වුණා.

o   සෑම කල් හි අන් අය ගේ ගෞරවයට පාත්‍ර වුණා.

o   උසස් කීර්තියක් ඇත්තෙක් වුණා.

o   සෑම කල් හි බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුණා.

o   තම පිරිස කිසිවෙකුට භේද කළ නො හැකි වුණා.

o   ඥාතීන් අතර උසස් (උතුම්) ශ්‍රේෂ්ඨයෙකු වුණා.

o   ශීත උෂ්ණ වලින් පීඩාවක් නො වුණි.

o   කායික හා මානසික දාහ නැති උතුමෙක් වුණා.

(අපදාන පාලි: 501 වන අපදානය)

 

අවසානයේ නිවන් සුව අවබෝධයට ද ඒ උතුම් පින උපනිශ්‍රය වුණා.

 

පහන් පූජාවේ ආනිසංස

 

අජිත ස්වාමින් වහන්සේ පියුමතුරා බුදු රජුන්ට එක් මිතෙල් පහනක් පිදූ පිනින් කල්ප හැටදාහක් දෙව්ලොව සැප විඳ දහස් වතාවක් සක්විති රජව උපන්නේ ය. සතිස් වතාවක් සක් දෙව් වුණා. වාර සත් සියයක් ප්‍රදේශ රජ වුණා. අවසානයේ නිවන් දැකීමට ද ඒ කුසලය ම උපනිශ්‍රය වූ බව දැක්වේ.

(අපදාන පාලි: 400 වන අපදානය)

 

පඤ්චදීපිකා තෙරණින් වහන්සේ පෙර බුදු සසුනක කළුවර රැයක බෝධින් වහන්සේට පහන් පහක් පිදූ පිනෙන් අසූ වාරයක් දෙව්ලොවට අධිපති සක් දෙවිඳු ගේ බිරිඳ වී උපන්නා ය. දහස් ගණන් සක්විති රජ දරුවන්ට අග මෙහෙසිය වුණා ය. අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් දැකීමටද ඒ පින උපනිශ්‍රය වී ඇත.

(9 වන ථේරී අපදානය)

 

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ගේ චෛත්‍යයට එක් රැයක් එක් පහනක් පුදා පහත සඳහන් ආනිසංස ලැබුණු බව ථේරි අපදානේ දක්වා ඇත්තේ ය.

o   සෑම තැනම තමාට ප්‍රදීප දැල් වේ.

o   දිවැස් ලැබේ.

o   තීක්‍ෂණ නුවණ ලැබේ.

o   යසසින් දිලිසෙත්.

o   ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්.

o   උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

 

ඒකදීපිය හිමි සිද්ධාර්ථ බුදුරජුන් ගේ චිතකයට එක් පහනක් පුදා එක් තිස් වරක් සක් දෙවිඳු විය. විසි අට වතාවක් සක්විති රජ බව ද ලැබුවා. තව විශේෂ අනුසස් දෙකක් ද ලැබුවා.

o   විෂම ස්ථාන වලට යන විට සමවෙන්නා හ.

o   විනිවිද පෙනෙන දෙනෙත් ඇත්තෙක් විය.

(416 වන ථේර අපදානය)

 

පින්වතුනි! පහන් සුවාසූ දහසක් විසිරුණ කැලඹුන සිතින් පිදුවත් මෙපමණ අනුසස් ගෙන නො දෙන අතර, පැහැදුන සිතින් එකඟ සිතින් බුද්ධිමත්ව එක පහනක් පිදුවත් මහත් අනුසස් ලැබෙන බව වටහා ගනිත්වා.

 

සුවඳ දුම් පූජාවේ ආනිසංස

 

ධූපදායක හිමි පැහැදුන එකඟ වූ සිතින් බුද්ධිය යොදා සිද්ධාර්ථ බුදුරජුන්ගේ ගඳකිලිය සුවඳවත් කළ පිනෙන් කල්ප අනූ හතරක් අපායට නො ගොස් නිවන් දැකීමට එම කුසලය උපනිශ්‍රය වී ඇත.

(අපදාන පාලි: 26 වන අපදානය)

 

පිළින්‍දිවච්ජ මහ රහතන් වහන්සේ සුවඳ දුම් පිදූ පිනෙන් අනුසස් දහයක් ලැබුණු බව දක්වා ඇත.

o   සුවඳවත් සිරුරක් ඇත්තෙකු වේ.

o   කීර්තිමත් ජීවිතයක් ලැබේ.

o   යසස් ඇත්තෙකු වේ.

o   වහා වැටහෙන නුවණක් ලැබේ.

o   තීක්‍ෂණ නුවණ ලැබේ.

o   භූරි පඤ්ඤ යන නුවණ ලැබේ.

o   හාසු පඤ්ඤ නුවණ ලැබේ.

o   ගැඹුරු නුවණ ඇත්තෙකු වේ.

o   විපුල වූ නුවණ ඇත්තෙකු වේ.

o   ජවන ප්‍රඥාව ලැබේ.

(අපදාන පාලිය පිළින්‍දිවච්ජ අපදනය)

 

පිළින්‍දිවච්ජ මහ රහතන් වහන්සේ, පදුමුත්තර බුදුන් දවස හංසවතී නුවර ඉපිද රජතුමා ගේ මාළිගයේ දොරටු පාලකයෙකු ලෙස සේවය කරන කාලයේ එම බුදුරජුන් ගේ පියා වූ ආනන්ද මහ රජතුමා, තම නුවර දී වෙන කිසිවෙකුට අවස්ථාවක් නොදී බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නයට සිව්පසයෙන් උපස්ථාන කළේ ය. රජු හා කුඩා කල සිට මිතුරන්ව සිටි හෙයින් රජුගෙන් ලද වරයක් සඳහා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන් දීම පිණිස අවස්ථාවක් ලබා දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටින ලදි. මෙයට අකමැති වූ රජු පසුව අධිකරණ විනිශ්චයකින් ලබා දුන් තීන්දුව මත නො කඩවා මාස තුනක් බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට සිව්පසයෙන් ඇප උපස්ථානය සඳහා මොහුට ඉඩ සලසා දෙන ලදි. මේ ලද අවස්ථාවෙන් නො කඩවා තුන් මසක් මුළුල්ලේ බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට සිව්පසයෙන් උපස්ථාන කළ පිනින් මේ තරම් අනුහසක් ලැබ අවසානයේ ගෞතම බුදුසසුනේ දෙවියන්ට ප්‍රිය වූවන් අතර අග තනතුරද ලබන ලදි. එබැවින් සත් පුරුෂයෝ තැම්පත් සිතින් යුතුව ම කුසල කර්ම කරත්වා.

 

සුවඳ පැන් ඉසීමේ අනුසස්

 

ඵුසිත කම්පිය හිමි විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වඩින විට වනුක් මල් ටිකක් තම්බා ගත් සුවඳ පැන් ටිකක් ගෙන ඉස්ස පිනෙන් දෙදහස් පන්සිය වතාවක් සක්විති රජවිය. දෙදහස් පන්සිය වතාවක් දෙදෙව් ලොවට සක් දෙවිඳු වී උපන්නේය. එසේම උපනූපන් ජීවිතයෙහි,

o   හැම ආත්මයකදී ම එුසිත යන නම ද,

o   සැමදා බඹයක් පමණ සුවඳ වැසි පොද වසියි.

o   සැතපුම් භාගයක් දුරට ඇඟෙන් සුවඳ විහිදේ.

o   තම අතට ගත් සියල්ල සුවඳවත් වූ හ.

 

කල්ප ලක්ෂයක් සැප විද එම කාලය තුළ පාරමී ද පුරාගෙන නිවන් සුවය ද අවබෝධ කරගත් බව අපදාන පාලියේ සඳහන් වේ.

 

ගන්ධෝදකිය හිමි පෙර ආත්මයකදී පියුමතුරා බුදුරජුන් පිටදුන් බෝධීන් වහන්සේට මහ වර්ෂාවේ නමුදු සුවඳ පැන් කලයක් පිදූ පිනින් දෙව්ලොව දිව්‍යංගනාවන් පිරිවරා ගෙන උසස් විමාන ලබා මනු ලොව දී ආබාධයෙන් තොරව, ශෝකයෙන් තොරව ලත වීමෙන් තොරව, පාරමී පුරාගෙන නිවන් දැකීමටද ඒ පින උපනිශ්‍රය විය.

(අපදාන පාලි 54 වන අපදානය)

 

ධර්මශ්‍රවණානිසංස

 

ඒකධම්ම සවනීය හිමි පියුමතුරා බුදුසසුනේදී එක් ධර්ම දේශනයක් ශ්‍රවණය කල පිනින් තිස් එක් වාරයක් සක් දෙවිඳු විය. විසි එක් වතාවක් සක්විති රජ විය.

(අපදාන පාලි 427 වන අපදානය)

 

ධම්ම සවනීය හිමි පෙර තැම්පත් සමාධිගත සිතින් නුවණ යොදා අනිච්ච සඤ්ඤා පටිසංයුක්ත එක් ධර්ම දේශනයක් ශ්‍රවණය කළ පිනින්,

o   කල්ප තිස් දහසක් දෙව් සැප වින්දේ ය.

o   පනස් එක් වතාවක් දිව්‍ය රාජ්‍යය ලැබුවේ ය.

o   හැත්තෑ එක් වාරයක් සක්විති රජවිය.

 

අප බුදු සසුනේ දී ඒ පින ද උපනිශ්‍රය වී සත් හැවිරිදි වියේදීම රහත් බව ලැබුවේ ය. එබැවින් තැන්පත් සිතකින් ධර්මය ශ්‍රවණය කරත්වා.

(අපදාන 339 වන අපදානය)

 

ආහාර පිදීමේ ආනිසංස

මෝඝරාජ හිමි පෙර අත්ථදස්සී බුදුරජුන්ට තැම්පත් සිතින් නුවණ යොදා දඬුවැල් බෑයක් පුජා කළ පිනින් දාහතර වාරයක් සක් දෙවිඳු වුණා. පන්සිය වාරයක් සක්විති රජ වුණා. අටවිසි වතාවක් පෘථිවි රාජ්‍ය ලැබුවේය. අවසානයේ මේ පින නිවනට ද උපනිශ්‍රය වුණේ ය.

(අපදාන පාලි 35 වන අපදානය)

 

අධිමුත්ත හිමි අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට උක්ගස් දානයක් දුන් පිනින් කල්ප එක්දාස් අට සීයක් දුගතිගාමී නොවූ බව අපදාන පාලියේ සඳහන් වේ.

 (අපදාන පාලි 36 වන අපදානය)

 

කටච්ජුභික්ඛා දායිකා තෙරණිය පෙර එක් ජීවිතයක තිස්ස බුදු රජුන්ට එක් දන් හැන්දක් පිදූ පිනින් තිස් හය වාරයක් සක් දෙවිඳුගේ මෙහෙසිය වූවා ය. පනස් වතාවක් සක්විති රජුට අග මෙහෙසිය වුවා ය.

(07 වන ථේරී අපදානය)

 

උප්පල දායිකා තෙරණිය පියුමතුරා බුදුසමයෙහි එක් භික්ෂුවකට පිණ්ඩපාත දානයක් හා වස්ත්‍රයක් පුදා දහස් වතාවක් සක් දෙවිඳුගේ මෙහෙසිය වූ අතර දහස් වතාවක් සක්විති මෙහෙසිය වූවා ය. එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දී මෙම විපාකයන් ලැබී ඇත්තා හ.

(අපදාන පාලි උප්පලදායිකා අපදානය)

o   පැහැපත් වී ඉපදේ.

o   විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.

o   දැකුම්කළු කෙනෙක් වේ.

o   උසස් කුලවල උපදියි.

o   සර්වාංග සම්පන්න ශෝභමාන රූප සම්පත් ලැබේ.

 

ඒ වාගේ ම ආයුෂ, වර්ණය, සැපය, බලය, නුවණ, යසස් භාවය යන ආනිසංස ලැබෙන බව ධර්මයෙහි සඳහන් කොට ඇත්තේ ය.

 

ඉදිකටු පූජාවේ ආනිසංස

 

සුවිදායක හිමි විපස්සී බුදුරජුන්ට ඉදිකටු පූජා කළ පිනින් හත් වරක් සක්විති රජවිය.

(94 වන අපදානය)

 

පිළින්‍දිවච්ඡ අපදානයට අනුව මේ විපාක ලැබෙන්නා හ.

o   කුකුස් සිඳලීමේ ශක්තිය ලැබේ. සැක නැත්තෙකු වේ.

o   විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.

o   බොහෝ භෝග සම්පත් ලැබේ.

o   තීක්‍ෂණ නුවණක් ලැබේ.

o   ගැඹුරු වු සියුම් ධර්ම කාරණා වහා වටහා ගැනීමේ ශක්තියක් ඇත්තෙකු වන්නේ ය.

 

වස්ත්‍ර පූජාවේ ආනිසංස

 

ඒකදුස්ස දායක හිමි පැහැදුනු සිතින් නුවණ යොදා පියුමතුරා බුදුරජුන්ට එක් වස්ත්‍රයක් පිඳූ පිනින් තිස්හය වතාවක් සක් දෙවිඳු විය. තිස්තුන් වතාවක් සක්විති රජ වුණේ ය. මනුලොව දී පහත සඳහන් අනුසස් ලැබී ඇත්තා හ.

 

o   රූමත් පුද්ගලයෙකු වේ.

o   ගුණවන්තයෙකු වේ.

o   සතුරන්ට නො මැඬිය හැකි ය.

o   බොහෝ වස්ත්‍ර ලැබෙත්. 

o   බොහෝ භෝග සම්පත් ලබති.

o   උඩු වියන් ලැබේ.රන්වන් පාට ශරීරයක් ලැබේ. 

 

මීට අමතරව පිළින්‍දිවච්ඡ අපදානයට අනුව මේ ආනිසංස ද ලැබෙන්නා හ.

 

o   දූවිලි නො ඇලෙන සමක් ඇත්තෙකු වේ.

o   කාන්තිමත් ශරීරයක් ලැබේ.

o   සිනිඳු ශරීරයක් ලැබේ.

 

මෙට්ට පිදීමේ ආනිසංස

 

සුවණ්ණ බිම්බෝහන හිමි ට පෙර මෙට්ටයක් පිදු පිනින් සක්විති සැපත ඇතුළු බොහෝ සැප ලැබී ඇති බව අපදාන පාලියේ 271 වන අපදානයේ සඳහන් කොට ඇත. මෙට්ට පිදීමේ හේතුවෙන් පිළින්‍දිවච්ඡ හිමිට ප්‍රධාන අනුසස් සයක් ලැබී ඇත්තාහ.

 

o   සම වූ සිරුර ඇත්තෙක් වේ.

o   ගරු කරන ලද්දෙක් වේ.

o   මෘදු ශරීර ඇත්තෙක් වේ.

o   මනා දැකුම් ඇති ශරීර ඇත්තෙක් වේ.

o   ඥාණය ලැබේ.

o   පරිවාර සම්පත් ලැබේ.

 

ඡත්‍ර දානයේ ආනිසංස

 

ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය.

(අපදාන පාලි 293 වන අපදානය)

 

ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ හතක් සැප ලැබී ඇත. එසේම කුසල බලයෙන් හැත්තෑ හත් වතාවක් සක් දෙවිඳු වූ අතර දහස් වතාවක් සක්විති රජ විය.

(412 වන අපදානය)

 

පිළින්‍දිවච්ඡ හිමියන්ට ඡත්‍ර දානයේ අනුසස් අටක් ලැබී ඇත.

 

o   ශීතලෙන් පීඩා නො ලැබේ.

o   තම ශරීරයෙහි කුණු නො ඇලෙයි.

o   උපද්‍රව නැත්තෙක් වේ.

o   අන්‍යයන් ගේ ගෞරවයට පත් වේ.

o   සියුම් වූ සමක් ඇත්තෙක් වේ.

o   සිත පිරිසිදු වේ.

o   ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.

o   බොහෝ විචිත්‍ර කුඩ ලැබේ.

 

 

පාත්‍ර දානයේ ආනිසංස

 

පත්තදායක හිමි සිද්ධාර්ථ බුදු හිමිට පාත්‍රයක් පූජා කොට කල්ප අනූහතරක් දුගතියකට නො ගිය බව සඳහන් වේ. (246 වන අපදානය) පිළින්‍දිවච්ඡ හිමිට පාත්‍ර පිනින් අනුසස් දහයක් ලැබී ඇත්තා හ.

o   බොහෝ වටිනා රන් රිදී තලි ලැබේ.

o   උපද්‍රව නැත්තෙක් වේ.

o   අනතුරු නැත්තෙක් වේ.

o   අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වේ.

o   ආහාර පාන, වස්ත්‍ර, සයනාසන පහසුවෙන් ලැබේ.

o   ලැබෙන සම්පත් අකාලයේ විනාශ නො වේ.

o   ස්ථීර සිත් ඇත්තෙකු වේ.

o   හැම කල්හි ම ධර්මයට කැමති වේ.

o   කෙලෙස් අඩු කෙනෙක් වේ.

o   ආශ්‍රව ද රහිත වෙත්.

 

දැලි පිහියා පිදීමේ ආනිසංස

 

o   හැම කල්හි ම ශූරයෙක් වේ.

o   තැම්පත් සිත් ඇත්තෙකු වේ.

o   විශාරද පුද්ගලයෙකු වේ.

o   ධෛර්යවන්තයෙක් වේ.

o   වීර්යවන්තයෙක් වේ.

o   ඔසවා ගන්නා ලද සිත් ඇත්තෙක් වේ.

o   තීක්‍ෂණ නුවණ ලැබේ.

(අපදාන පාලි 240 වන අපදානය)

 

වාසිදායක හිමි මීට කල්ප අනූහතරකට පෙර පිහියක් දුන් පිනින් කල්ප අනූහතරක් යන තුරු ම අපාගත වී නැත.

 

මහ පිහියා පිදීමේ ආනිසංස පහ

o   යහපත් සිත් ඇත්තෙකු වේ.

o   වීර්ය වන්තයෙක් වේ.

o   ක්‍ෂාන්තිවාදී පුද්ගලයෙක් වේ.

o   මෛත්‍රීය නමැති ආයුධය ලැබේ.

o   කෙලෙස් සිඳලන අනුත්තර වූ නුවණ ලැබේ.

(පිළින්‍දිවච්ඡ අපදානයට අනුවය)

 

නිය කපන අවි පිදීමේ ආනිසංස පහ

o   බොහෝ දැසි දස්සන් ලැබේ.

o   ගව අශ්ව සම්පත් ලැබේ.

o   ආරක්ෂක මෙහෙකරුවන් ලැබේ.

o   කෙස් රැවුල් කපන්නන් ලැබේ.

o   බත් පිසන්නන් ලැබේ.

(පිළින්‍දිවච්ඡ අපදානයට අනුවය)

පවන් අතු පිදීමේ ආනිසංස අට

 

o   ශරීර දාහ නැත්තෙකු වේ.

o   මානසික දාහ නැත්තෙකු වේ.

o   රාග ගිනි නිවීමේ ශක්තිය ලැබේ.

o   ද්වේෂ ගිනි නිවීමේ ශක්තිය ලැබේ.

o   මෝහ ගිනි නිවීමේ ශක්තිය ලැබේ.

o   මාන ගිනි නිවීමේ ශක්තිය ලැබේ.

o   මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ලැබේ.

o   ශීතයෙන් හා ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)

 

පෙරහන් කඩ පිදීමේ ආනිසංස පහ

 

o   දීර්ඝායුෂ ලැබේ.

o   අවි ආයුධවලින් පීඩා නො ලබයි.

o   වසවිස වලින් හිංසාවක් නො වේ.

o   අතුරු මරණයකට පත් නො වේ.

o   සොර සතුරන්ට හිංසා කළ නො හැක්කෙකු වේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)

 

තෙල් තබා ගන්නා බඳුන් පිදීමේ ආනිසංස පහ

 

o   මනා රූ ඇත්තෙකු වේ.

o   මනා වචන ඇත්තේ වේ.

o   උසස් සිත් ඇත්තේ ද වේ.

o   අවික්‍ෂිප්ත සිත් ඇත්තේ ද වේ.

o   සකලාරක්‍ෂාවෙන් ආරක්‍ෂිත වූයේ ද වේ.

 

චෛත්‍යය පිරිසිදු කිරීමේ ආනිසංස

 

පහංකර හිමි පෙර ජිවිතයක දැව කාර්මිකයෙකු ලෙස සිටි මෙතුමා කැලේ යන විට පියුමතුර බුදු සමිඳුගේ ධාතු නිදන් කොට සාදා ඇති චෛත්‍යයෙහි කැලේ වැවී වන ග්‍රහණයට හසුව තිබෙනවා දැක පිරිසිදු කොට අට වරක් චෛත්‍යයට වැඳ පිටුනොපා ගිය කුසලයෙන් තව්තිසා දෙව්ලොව ඉපදුනි. මහා රන් විමනක් ද පහල වුනි. තුන්සිය වතාවක් සක් දෙවිඳු වී උපන්නේ ය. විසිපස් වතාවක් සක්විති රජවිය. මනුලොව දී මේ විපාක ලැබුනා හ.

 

o   මහත් භෝග සම්පත් හැම විට ම ලැබීම.

o   වනයට ගියේ ද, ඒ වනය තමාට පිහිට ලෙස පැවතී ම.

o   වනයේ කණු, කටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම.

o   කුෂ්ඨ රෝගය ද, ගණ්ඩ, කිලෙස, මීමැස්මොර, විතච්ජිකා නම් කුෂ්ඨ රෝගය ද, දද, කැසිලි ආදිය ද නො වීම.

o   ස්වල්ප මාත්‍ර ද පිළිකාවක් ශරීරයේ හට නො ගැනීම.

o   රන්පැහැපත් සිරුරක් ලැබීම.

o   අකමැති දෑ බැහැර වේ. කැමති දෑ එළඹේ.

o   සිත එකඟ වේ. මනාව සමාධි වේ.

o   කල්ප ලක්ෂයක් තුළ දුගතියට නො වැටෙයි.

 

අවසානයේ ශාන්ත නිවන් සුව ලැබීමට ද මේ පින උපනිශ්‍රය වී ඇතිබව 336 වන අපදානයේ දැක්වේ.

ඉදිකටු ගුලා පිදීමේ ආනිසංස තුන

 

o   චිත්ත සුඛය ලැබේ.

o   කායික සුඛයට ලාභී වේ.

o   සැප ඉරියව් ඇත්තෙක් වේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)

 

අංසකඩ පිදීමේ ආනිසංස තුන

o   පර සිත් දන්නා නුවණ ලැබේ.

o   පෙර ජීවිත සිහි කරන නුවණ ලැබේ.

o   මනා සවි ඇත්තෙක් වේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)

 

පටි පිදීමේ ආනිසංස සය

o   සමාධින් හි කම්පා නො වේ.

o   සමාධියෙහි හුරු පුරුදු බව ඇත්තේ වේ.

o   නො බිදෙන පිරිස් ඇත්තෙක් වේ.

o   ඇදහිය යුතු වචන ඇත්තෙක් වේ.

o   එළඹ සිටි සිහි ඇත්තෙක් වේ.

o   බය හැඟීම් ඇති නො වේ.

 

පාත්‍රා තබන ආධාර පිදීමේ ආනිසංස

 

පාත්‍ර ආධාර හිමි පෙර සිඛී බුදු හිමිට පාත්‍ර ආධාරයක් පුදා සමන්තවරණ නම් සක්විති රජ විය.

 

ඛුජ්ජුත්තරාව මහා ධර්ම කථික උවැසියක් වුණේ ද පෙර පසේ බුදුන්ට තම අතේ දාගෙන සිටි වළලු අට ගලවා පාත්‍ර ආධාර ලෙස පිදූ පින හේතුවෙනි. පාත්‍රය නො වැටී දරා සිටීමට මෙය උපකාර වුණා වගේ ම ඇයට ද ධර්මය දරා සිටීමේ ශක්තිය ඇති විය.

(මනෝරථ පූරණි අටුවාව 238 පිටුව)

 

පිළින්‍දිවච්ඡ හිමිට පාත්‍ර ආධාර පුදා අනුසස් පහක් ලැබුණි.

 

o   කිසිවකින් කම්පා නො වන සිතක් ලැබේ.

o   මනාව සිහිය පිහිටත්.

o   ධර්මය දරා ගැනීමට නුවණ ලැබේ.

o   දරාගත් ධර්මය අමතක නො වෙත්.

o   මනාව ධර්මය නිශ්චිත ලෙස වැටහෙනු ලැබේ.

 

භාජන පිදීමේ ආනිසංස

 

භාජනදායක හිමි පෙර කුඹල්කරුවෙක් වී සිටිය දී භික්ෂූන්ට භාජන දුන් පිනින් සක්විති රජ ද වී කල්ප අනූ එකක් සැප විඳ අවසානයේ නිවන් සැප ද ලැබීමට එය උපනිශ්‍රය වී ඇත.

(අපදාන පාලි 232 වන අපද්‍ය

 

පිළින්‍දිවච්ඡ හිමිට භාජන දන් දීමෙන් විපාක තුනක් ලැබුනා හ.

 

o   හැමකල් හි වටිනා භාජනම පරිභෝජනයට ලැබේ.

o   පතිවත ඇත්තා වූ භාර්‍ය්‍යාවන් ද, දැසි දස්සන් ද, යාන වාහන ද ලැබෙන්නා හ.

o   විද්‍යා ද, මන්ත්‍රයන් ද, නානා ආගමයන් ද සියලු ශිල්ප ද ඉගෙන ගැනීමේ ශක්තිය ලැබේ.

 

තැටි පිදීමේ ආනිසංස තුන

 

තැටි යනු පිඟන් ආදී නො ගැඹුරු බදුන් වේ. ඒවා පිදීමෙන්,

o   නොයෙක් ආකාර විසිතුරු තලි ලැබේ.

o   වතෙහි ද ගුණයෙහි ද ප්‍රතිපත්තියෙහි ද මැනවින් පවතින්නෙක් වේ.

o   පිරිසිදු ආචාර ඇත්තෙකු වේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)

 

බෙහෙත් ඖෂධ පිදීමේ ආනිසංස

මෙත්ත ගුත්ත හිමි සුමේධ බුදු රජුන්ට ගිතෙල් පිදූ පිනින් අට වරක් සක් දෙවිඳු වුණේ ය. පනස් එක් වරක් සක්විති රජකම ලැබුවා. එසේම සෑම ජීවිතයක ම පාහේ අප්‍රමාණ භෝගසම්පත් ලැබුවා හ. අවසානයේ ඒ පින නිවනටද උපනිශ්‍රය වු බව 403 වන අපදානයේ පෙන්වා ඇත.

 

පිළින්‍දිවච්ඡ හිමිට බෙහෙත් පිදීමෙන් අනුසස් දහයක් ලැබුණා හ.

 

o   දීර්ඝායුෂ ලැබේ.

o   බලවන්තයෙකු වේ.

o   වීර්යය වන්තයෙකු වේ.

o   වර්ණ සම්පත් ලැබේ.

o   යශස් ඇත්තේ වේ.

o   සැප ඇත්තේ වේ.

o   උපද්‍රව නැත්තේ වේ.

o   අන්තරා නැත්තේ වේ.

o   හැම කල්හි ම ගරු කරන ලද්දේ වේ.

o   ප්‍රිය විප්පයෝග දුක් නො ලැබේ.

 

පාවහන් පිදීමේ ආනිසංස

 

උපාහනදායක හිමි චන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින් නුවණ යොදා පාවහන් යුවලක් පිදූ පිනින් කල්ප අනු එකක් දුගතියකට නො ගියේ ය.

(අපදාන පාලි 256 අපදානය)

 

පනාධිදායක හිමි අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට පයේ දා සිටි පාවහන් යුවල පුදා පනස් පස් වතාවක් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුව උපන්නේය. දහස් වරක් සක්විති රජවිය. ඒ පිනින් සසර ගමනේ දී

o   වේගයෙන් යා හැකි යාන වාහන ලැබුණා.

o   ප්‍රසාද, රන් සිවිකා, වටිනා ඇතුන් අසුන් ද ලැබුනා හ.

o   අග්‍ර ගණයේ පාවහන් ද ලැබී ඇත. (අපදාන පාලි 479 වන අපදානය)

 

දිය පිස්නා වස්ත්‍ර පිදීමේ ආනිසංස

 

o   රන්වන් පැහැ ඇත්තෙක් වේ.

o   රජස් නැත්තේ වේ.

o   ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තේ වේ.

o   තේජස් ඇත්තේ වේ.

o   සිනිදු සිරුරක් ඇත්තේ වේ.

o   සිරුරෙහි කුණු නො ඇලේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)

 

සැරයටි පිදීමේ ආනිසංස

දණ්ඩදායක හිමි මහා සංඝරත්නයට උණ ලීයකින් හැරමිටියක් කොට දීමේ පිනින් කල්ප අනූ හතරක් දුගතියකට නො ගිය අතර දෙව් මිනිස් සැප ම ලැබුවේ ය.

 

පිළින්‍දිවච්ඡ හිමිට සැරයටි පිදීමෙන් අනුසස් හයක් ලැබුණා හ.

o   බොහෝ පුත්‍රයන් ඇත්තේ වේ.

o   තැති ගැනීම් නො වේ.

o   හැම කල්හි අනුන් විසින් පීඩා නො කල හැක්කේ වේ.

o   සකලාරක්‍ෂාවෙන් ආරක්‍ෂාව ලැබේ.

o   චිත්ත පීඩා ඇති නො වේ.

 

බෙහෙත් අඳුන් පිදීමේ ආනිසංස අට

o   මහත් නෙත් ඇත්තෙක් වේ.

o   ඇසේ සුදු, කහ, රතු පැහැයන් මනාකොට ඇත්තේ වේ.

o   නො කැඩුනා වූ ප්‍රසාද ජනක ඇස් ඇත්තෙක් වේ.

o   සියලු රෝගයන්ගෙන් ම මිදුනෙක් වේ.

o   දිවැස් ලැබේ.

o   අනුන්තර වූ ප්‍රඥා චක්‍ෂුසය ලැබේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)

යතුරු හා යතුරු කොපු පිදීමේ ආනිසංස

 

o   යතුරු පිදූ පිනින් ධර්ම ද්වාරය විවෘත කරගන්නා ඤාණය නැමති යතුර ලැබේ.

o   යතුරු කොපු දීමෙන් ක්‍රෝධය මඳ වේ.

o   වෙහෙස නැත්තෙක් වේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)

 

පටි පිදීමේ ආනිසංස පහ

o   නො සැලෙන සමාධිය ඇත්තේ වේ.

o   සමාධියේ වශීභාවය ඇත්තේ වේ.

o   නො බිඳෙන පිරිස් ඇත්තේ වේ.

o   හැම කල්හි ම විශ්වාස කරන කථා ඇත්තෙක් වේ.

o   මහත් භෝග සම්පත් ඇත්තෙක් වේ. (පිළින්‍දිවච්ඡ අපදානය)

 

බෝමළු ආදිය ඇමදීමේ ආනිසංස

සකංසම්මජ්ජක හිමි විපස්සී බුදු රජුන් බුදුවීමට පිටදුන් පළොල් බෝධි මළුව ඇමදීමේ පිනෙන් පහත සඳහන් අනුසස් ලැබුවා හ.

o   නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ.

o   පිරිසිදු පුද්ගලයෙක් වේ.

o   වැරදි නැති නිර්මල පුද්ගලයෙක් වේ.

o   ශෝක නො දැනේ.

o   චිත්ත පීඩා දැවිලි නො වේ.

o   කුෂ්ඨ රෝග නො සෑදේ.

o   ගෙඩි රෝග නො සෑදේ.

o   කැසිලි රෝග නො සෑදේ.

o   මී මැස්මොර නො සෑදේ.

o   විතච්ජිකා නම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නො සෑදේ.

o   දද රෝග නො සෑදේ.

o   කසා සැරව ගලන රෝග නො සෑදේ.

o   වැලපීම් නැත්තෙක් වේ.

o   තැති නො ගනිත්.

o   සෘජු සිත් ඇත්තෙක් වේ.

o   පැහැදිලි සිත් ඇත්තෙක් වේ.

o   කැමති කැමති සමාධීන් ලැබීමේ ශක්තිය ලැබේ.

(අපදාන පාලි 421 වන අපදානය)

 

බෝධි සම්මජ්ජක හිමි ට පෙර ජීවිතයකදී බෝමළුවේ ගොඩ ගැසුනු බෝපත් දැක එය ගෙන බැහැරට දැමු පිනින් අනුසස් 20 ක් ලැබී ඇත. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් තැම්පත් සිතින් නුවණ යොදා බෝමළුව ඇමැද්දත් පහත සඳහන් විපාක ලැබේ.

 

o   දුගතියට නො වැටී දෙව් මිනිස් සැප ලැබේ.

o   උසස් කුලයකම ඉපදේ.

o   මනා අඟ පසඟ ඇත්තෙක් වේ.

o   ආරෝහ පරිණාහ දේහයක් ලැබේ.

o   පිරිපුන් අවයව ඇත්තෙක් වේ.

o   විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.

o   රන්වන් පාට දේහයක් ලැබේ.

o   මෘදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ.

o   සිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ.

o   සිරුරේ දැලි කුණු නො තැවරේ.

o   අවු සුළං වලින් පීඩා නො වෙයි.

o   සිරුරින් දහඩිය නො වැගිරේ.

o   කායික මානසික රෝගාබාධ නැත්තෙක් වේ.

o   සතුරන් නැත්තෙක් වේ.

o   නො අඩු වූ භෝග සම්පත් ලැබේ.

o   ගින්නෙන්, ජලයෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් බියක් නො වේ.

o   තමාගේ සිත නො රිදවන සේවක සේවිකාවන් ලැබේ.

o   අකල් මරණයන්ට පත් නො වේ.

o   සියල්ලෝ ම තමාට සැප කැමැත්තෝ ම වෙත්.

o   මහා යසස් ඇත්තේ වේ.

(අපදාන පාලි 526 වන අපදානය)

 

අවසානයේ මේ පින නිවනට ද උපනිශ්‍රය වී නිවන් සැප ද ගෙන දෙන්නා හ.

 

බෙහෙත් දුම්බොන පයිප්ප පිදීමේ ආනිසංස තුන

 

නාසිකාවේ මස්දලු ආදිය සෑදී ඇති ගිලන් භික්ෂූන්ට බෙහෙත් දුම්පානය කළාට වරදක් නො වේ. එවැනි භික්ෂූන්ට බෙහෙත් දුම්බොන පයිප්ප පිදීමෙන්

 

o   සිහිය සෘජු වේ.

o   නහර මනා කොට සම්බන්ධ ඇත්තවුන් වන්නා හ.

o   දිව්‍ය නේත්‍ර ලැබෙන්නාහ යැ යි දක්වා ඇත.

(පිළින්දිවච්ඡ අපදානය)

 

මහ සැළි හා කරඬු පිදීමේ අනුසස් දහය

 

o   සෑම කල්හිම ආරක්‍ෂාව ඇත්තේ වේ.

o   සැපයෙන් යුක්ත වේ.

o   මහත් යසස් ඇත්තේ වේ.

o   සියුමැලි වේ.

o   සියලු අනතුරු වලින් මිදුනේ වේ.

o   මහා ගුණවන්තයෙකු වේ.

o   විචිත්‍ර වූ මහත් සැළි හා කරඬු ලැබේ.

o   ඇත්, අස්, රථයන්ට ලාභි වේ.

o   බිය නැත්තේ වේ.

o   නො නැසෙන භෝග සම්පත් ඇත්තේ වේ.

(පිළින්දිවච්ඡ අපදානය)

 

අඳුන් නල පිදීමේ ආනිසංස හතර

 

 

o   සර්ව ලක්‍ෂණයෙන් යුක්ත ජීවිතයක් ලැබේ.

o   දීර්ඝායුෂ ලැබේ.

o   නුවණැත්තෙක් වේ.

o   සකලායාසයන්ගෙන් ම මිඳුනෙක් වෙයි.

 

කුඩා පිහියා හා ලොම් උදුරන අඬු දීමේ ආනිසංස

 

 

පිහියා පිදීම නිසා අතුල්‍ය වු පරිශුද්ධ වූ කෙලෙස් සිඳිනා නුවණ ලැබේ. අඬු පිදීමෙන් කෙලෙස් උදුරන නුවණ ලැබෙන බව අපදාන පාලියේ පිළින්‍දිවච්ඡ අපදානයේ දක්වා ඇත.

 

නස්‍ය කිරීමේ උපකරණ පිදීමේ ආනිසංස අට

එනම් ගුණ ධර්ම අටකින් යුක්ත වීමේ ශක්තිය ලැබෙන බව පිළින්දිවච්ඡ අපදානයේ සඳහන් වේ. ඒ ගුණ ධර්ම නම්,

 

o   ශ්‍රද්ධාව.

o   ශීලය.

o   පව් කිරීමට ලැජ්ජා ඇති බව.

o   පව් කිරීමට බිය ඇති බව.

o   බහුශ්‍රැත බව.

o   ත්‍යාගවන්ත බව.

o   ඉවසීම, ප්‍රඥාව යන මේවා ය.

 

පුටු පිදීමේ ආනිසංස

 

හේමක හිමි පියදස්සී බුදුරජාණන් වහන්සේට සෘද්ධි බලයෙන් රන් පුටුවක් මවා දුන් පිනින් හැත්තෑ පස් වතාවක් සක්විති රජවිය. දෙතිස් වතාවක් දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳු විය.

 

ඒකාසනදායක හිමි පියුමතුරා බුදුරජුන්ට දඬු මැස්ස මත ආසනයක් පනවා දුන් පිනින් පනස් වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර සම්පත් ලැබුවේය. අසූවතාවක් සක්විති රජවිය.

(අපදාන පාලි 423 වන අපාදනය)

 

ඒකාසනදායිකා තෙරණිය පෙර එක් ජීවිතයක දී පැහැදුන සිතින්, තැන්පත් සිතින් නුවණින් යුක්තව එක් හිමිනමකට වැඩ සිටීමට අසුනක් පනවා දුන් පිනින් අසූවතාවක් සක් දෙවිඳු ගේ බිරිඳ වී උපන්නා ය. හැත්තෑ හත් වතාවක් සක්විති රජුන් ගේ මෙහෙසිය වූවා ය. මනුලොව දී පහත සඳහන් අනුසස් ලැබී ඇත.

o   හිඳ ගැනීමට රන්රිදී අසුනක් පහළ වේ.

o   චිත්ත පීඩා ඇති නො වේ.

o   මෙට්ට පලස් ආදිය බොහෝ ලැබේ.

o   බොහෝ භෝග සම්පත් ලැබේ.

o   උසස් කුල සම්පත් ලැබේ.

o   චෛතසික වේදනාවන්ට පත් නො වේ.

o   ලස්සන වී උපදියි.

o   තමා නාවන්න, කවන්න, පොවන්න, සතුටු කරන්න, සුවඳ ගල්වන්න බොහෝ පිරිවර ලැබේ.

(ඒකාසනදායිකා ථෙරී අපදානය)

 

අවසානයේ මේ උතුම් පින නිවනට ද උපනිශ්‍රය වී ඇත.

මීට අමතරව පිළින්‍දිවච්ඡ අපදානයේ මේ විපාක ද පෙන්වා ඇත.

 

o   සියල්ලන් ගේ ම ගෞරවයට පාත්‍ර වේ.

o   බොහෝ කීර්තිය ඇත්තෙක් වේ.

o   දීමෙහි ඇලුණු සිත් ඇත්තෙක් වේ.

o   බොහෝ පුටු ආදිය සසර දී ලැබේ යනුවෙනි.

 

කොට්ට පිදීමේ ආනිසංස සය

o   වටිනා කොට්ට ලැබේ.

o   ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි හිත එළවා විසීමට ශක්තිය ලැබේ.

o   ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වේ.

o   සිත සමාධි කරගත හැකි වේ.

o   වත් පිළිවෙත් ආචාර සමාචාර ගුණ වලින් යුත් උතුමෙකු වේ.

o   බෝධිපාක්‍ෂික ධර්මයන් හා ත්‍රි ශික්‍ෂාවන් අනුගමනය කිරීමට ශක්තිය ලැබේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)

 

පිදුරු බිසි පිදීමේ ආනිසංස

 

මෙහි විපාක ලෙස බොහෝ උසස් වටිනා පර්‍ය්‍යාංක ලැබෙන බව පිළින්‍දිවච්ඡ අපදානයේ දැක්වේ.

 

පාපුටු පිදීමේ ආනිසංස දෙක

o   බොහෝ යාන වාහන ලැබෙත්.

o   භාර්යාවෝ ද දැසි දස්සන් ද කම්කරුවන් ද තමාට මැනවින් උපස්ථාන කරන්නා හ.

 

පාලම් ඒ දඬු ඉදිකිරීමේ ආනිසංස

ධෝතක හිමි පියුමතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පාලමක් ඉදිකර පූජා කළ පිනින් පහත සඳහන් විපාක ලැබී ඇති බව 404 අපදානයේ දක්වා ඇත්තා හ.

o   පර්වතයකින් හෝ ගසකින් වැටෙන්නට ගියේ ද පිහිට ලබයි.

o   සතුරන්ට මැඬලිය නො හැක්කේ වේ.

o   ලැබෙන වස්තුව සොරු පැහැර නො ගනිත්.

o   අන් අය අවමන් නො කරත්.

o   සතුරු බලවේග ජයගත හැකි වේ.

o   එළිමහනේ ගියේ ද දැඩි අව්වෙන් තැවුනේ ද දුක් වේදනා නො දැනේ.

o   දෙව් මිනිස් දෙගතියෙහි කැමති පරිදි ඇත් වාහන පහල වේ.

o   වාත වේගයෙන් යා හැකි වාහන ලැබෙත්. අවසානයේ නිවනට ද මේ පින උපනිශ්‍ර විය.

 

ඇඟ ගල්වන තෙල් පිදීමේ ආනිසංස පහ

 

o   නිරෝගි බව ලැබේ.

o   රූප සම්පත් ලැබේ.

o   බොහෝ ආහාර පාන ලැබෙත්.

o   දීර්ඝායුෂ ලැබෙත්.

o   වහා ධර්මය දැන ගැනීමට සමත් වෙත්.

(පිළින්‍දිවච්ඡ අපදානය)

 

ගිතෙල් හා තෙල් (පානය කරන) පිදීමේ ආනිසංස

සප්පදායක හිමි ඵුස්ස බුදුරජාණන් වහන්සේට ගිතෙල් ටිකක් පිදූ පිනෙන් සක්විති රජ වී ඇත.

(අපදාන පාලි 166 වන අපදානය)

පිළින්‍දිවච්ඡ හිමිට ගිතෙල් හා තෙල් පිදූ පිනෙන් අනුසස් පහක් ලැබී ඇත්තා හ.

 

o   බලවන්තයෙක් වේ.

o   රූප සම්පත් ලැබේ.

o   සිත් සතුටු කරවන දරුවන් ලැබේ.

o   රෝග පීඩා නැත්තේ වේ.

o   පිරිසිදු ජීවිතයක් ලැබේ.

 

මුව පිරිසිදු කරන දෑ දීමේ ආනිසංස පහ

 

o   පිරිසිදු උගුර ඇත්තේ වේ.

o   මිහිරි හඬ ඇත්තේ වේ.

o   කාශ රෝග නැත්තේ වේ.

o   ස්වාස රෝග නැත්තේ වේ.

o   දුගඳ නො හමන, සුවඳ හමන මුව මඩලක් ලැබේ.

(පිළින්‍දිවච්ඡ අපදානය)

 

දී ආදිය පිදීමේ ආනිසංස

 

දී පිදීමෙන් කායගතා සති භාවනාව වැඩීමට මහත් දිරියක් ලැබේ. මී පැණි පූජා කිරීම අතූල්‍ය වූ අනුපම වූ විමුක්ති රසය ලබා ගැනීමට හේතු වේ. නොයෙක් රස වර්ග පිදීමේ හේතුවෙන් සසර ශ්‍රමණ ඵල රස විඳ ගැනීමේ ශක්තිය ලැබේ. කතුරු පිදීමේ හේතුවෙන් කෙලෙස් සිඳලන නුවණ ලැබේ.

 

සර්ව දානයෙහි ආනිසංස

 

ඇත්, අස්, රථ, පාබල යන සිවුරඟ සේනාව නිතර හෙතෙම පිරිවරත් තව ද සියලු ආභරණයෙන් සරසන ලද හැට දහසක් රථයෝ හැම ජීවිතයක ම පාහේ ලැබෙත්. එසේම හැට දහසක් තූර්‍ය්‍යයන් ද මැනවින් අලංකාර කරන ලද හේරිහු ද තමාට සතුට ගෙන දෙන්නේ ය. මැනවින් අලංකාර කරන ලද සයාසු දහසක් (86,000) ස්ත්‍රී හු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තා හු පළඳින මිණි කෙඩොල් ඇත්තා හු දිග ඇසිපිය ඇත්තා හු සිනා සහිත වූවා හු මනා වූ ශරීරාවයව ඇත්තා හු සිහින් කටි ප්‍රදේශ ඇත්තා හු නිරන්තරයෙන් ම හෙතෙම පිරිවරන්නා හු ය. මෙය සර්ව දානයෙහි විපාක වේ. කල්ප තිස් දහසක් දෙව්ලොව සැප ලැබේ. දහස් වතාවක් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු වන්නේ ය. දහස් වතාවක් සක්විති රජව උපදින්නේ ය. මෙසේ වන්නේ හිත තැන්පත් කරගෙන ශ්‍රද්ධාව උපදවාගෙන නුවණ යොදා සියල්ල පිදීමෙන් බව අවධාරණයෙන් දත යුතු ය.

(පිළින්‍දිවච්ඡ අපදානයට අනුවය)

 

දෙපාවල සඳුන් ගැල්වීමේ ආනිසංස

 

තෝදෙය්‍ය හිමි සුමේධ බුදුරජාණන් වහන්සේ ගේ දෙපාවල සඳුන් ගැල්වූ පිනින් බොහෝ ආනිසංස ලබා ඇත.

o   සියල්ලන් විසින් පිළිගන්නා ලද වචන ඇත්තෙක් වේ.

o   ශ්‍රේෂ්ඨ වූයේ වේ.

o   සෘජු සිත් ඇත්තේ වේ.

o   එසේම කල්ප විසි පහක් ඇfඟන් ප්‍රභා විහිදී ඇත.

o   ඒ පිනින් කල්ප දෙදහස් හයසීයයක් දෙව්ලොව සැප විඳින්න ලැබුණා.

o   දහස් වරක් සක්විති රජවිය.

o   තුන්සිය වතාවක් සක් දෙවිඳුව උපන්නා.

o   බොහෝ වාර ප්‍රදේශ රාජ්‍යයන් ද ලැබුණා.

 

අවසානයේ අප බුදු සසුනේ නිවන් සුවය ද අවබෝධ කර ගැනීමට ඒ පින උපනිශ්‍රය වූ බව හාරසිය අටවන අපදානයේ දැක්වේ.

 

මල් රේණු, මල් වියන් ආදිය පිදීමේ ආනිසංස

 

රේණු පූජක හිමි විපස්සී බුදුරජුන්ට නාමල් රේණු පිදූ පිනින් රේණු නම් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් සැපයට ද එය උපනිශ්‍රය වුණා.

(110 වන අපදානය)

 

තිණසුලක හිමි තිස්ස බුදුරජාණන් වහන්සේට බෝලිද්ද මල් පුදා විසිපස් වතාවක් සක් දෙවිඳුව උපන්නා හ. හැත්තෑ පස් වතාවක් සක්විති රජව උපන්නා. අවසානයේ නිවන් සුවය ද ලබාගත්තා.

(413 වන අපදානය)

 

අතිඡත්තිය හිමි අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ ගේ ධාතු නිදන් කොට හැදූ චෛත්‍යයට මල් වියනක් පුදා කල්ප එක්දාස් හත්සීයක් අපාගත නො වීය. එතරම් කාලයක් දිව්‍ය රාජ්‍යය ද කරන්න ලැබුණු බව එකසිය හතලිස් එක්වන අපදානයේ දක්වා ඇත.

 

කුටි පූජාවේ ආනිසංස

 

නළ කුටි දායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඬු වලින් කුටියක් කොට පූජා කළ පිනින් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැප ද ලැබුණා හ.

(අපාදන පාලි 499 වන අපදානය)

 

නළාගාරික හිමි නාරද බුදුහිමිට බට කිලියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනින් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජවිය. අවසානයේ සිව්පිළිසිඹියා ලාභීව රහත් වීමට ද ඒ පින උපනිශ්‍රය විය.

(අපදාන පාලි 345 අපදානය)

 

තිණකුටිදායක හිමි මීට කල්ප අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටිය දී දිනක් කැලයට ගිය විටක දී ලී කෑලි හයක් ගෙන දෙක දෙක කතිර සිටින ලෙස බැඳ ඒ මත තෘණ අතුරා කුටියක් කොට මහා සංඝරත්නයට පිදූ පිනින්,

 

o   තව්තිසා දෙව්ලොව දෙව් විමනක් පහළ විය.

o   උපනූපන් තැන තම සිතේ හැටියට ප්‍රාසාද පහළ විය.

o   බිය, තැති ගැනීම්, ලොමු දැහැ ගැනීම් නැත්තෙක් වේ.

o   සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක, කරබානා, වලස් ආදී වන සතුන් තමා යන විට පාරෙන් ඉවත් වේ.

o   සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වේ.

(අපදාන පාලි 337 වන අපදානය)

අවසානයේ අප බුදු සසුනේ දී ශාන්ත නිවන් සුවයට පත් වීමට ඒ පින හේතු වුණා. ආවාසයක් කොට පූජා කිරීම සියල්ල දුන්නා වේ යැ යි කිංද ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.

 

ධර්ම දානයේ වටිනාකම

 

තිලොවක තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සබ්බදානං ධම්ම දානං ජිනාති” යැ යි වදාරා ඇති පරිදි ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිභවනය කරන බව හා එහි ඇති අගය මෙසේ දත යුතු ය.

 

ඉදින් වනාහි සක්වල ගැබ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතන අරූපි බඹලොව දක්වා අතරක් නැතිව සිටින සේ වඩා හිඳුවා බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් බඩ (ගොබ) මෙන් අතිශයින් ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේ ද, ඒ චීවර දානමය පිංකමට ද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්ම අනුමෝදනාව ශ්‍රේෂ්ඨ වේ කියා ය. තව ද, තං හි දානං තස්සා ගාථාය සෝළසිං කලං නාග්ඝති” යැයි එහි වදාරා ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතුන් වඩා හිඳුවා දුන් දානයෙහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලොස් කලාවකුදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්‍රවණය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත .

 

සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, එසේම ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.

අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්‍යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පිංකමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පිංකම් අතර අග්‍ර වේ, ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත.

 

එයට හේතුව නම් ඉහත කී සිවුරු පිදීම පිණ්ඩපාත දාන සෙනසුන් ඉදිකිරීම් ආදී පුණ්‍ය කර්ම කරනුයේ ධර්මය අසා දැන ගත් බැවිනි. ධර්මය දැන කියා ගැනීමට නො ලැබුණි නම් කැඳ සරලුවකුදු බත් හැන්දකුදු නො දෙන බව ධර්මයේ පෙන්වා ඇත. මේ කරුණින්ද ධර්ම දානමය පිංකම ම සියලු දන් පරදවන බව දත යුතු ය. තව ද රහත් බෝධියෙන් නිවන් දුටු පිරිස අතර අගතැම්පත් සැරියුත් ස්වාමින් වහන්සේට කල්පයක් මුළුල්ලෙහි වසින වර්ෂාවේ දියබිඳු ප්‍රමාණය කීමට තරම් මහා නුවණක් ඇත්තේ ය. මේ තරම් නුවණක් ඇති සැරියුත් හිමිට ද බණ පදයක් දැන ගැනීමට නො ලැබුණි නම් නිවන් දැකීමට නො හැකි වන්නේ ය. මේ හේතුවෙන් ධර්ම දාන ම ය පින ම සියලු දාන ම ය පිංකම් වලට වඩා ශ්‍රේෂ්ඨ වන බව අග්‍ර වන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට වදාරන්නට යෙදුනේ ය.

 

තිසරණ සමාදානයේ වටිනාකම

 

සරණගමනිය හිමි අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි නිසභ තෙරුන්ගෙන් තිසරණ සමාදන් විය. ඒ හිත පහදා ගෙන තැම්පත් සිතින් තිසරණ ගත් පිනින් අසූවාරයක් සක් දෙවිඳුව උපන්නේ ය. හැත්තෑපස් වාරයක් සක්විති රජකම ලැබුනේ ය. මේ බුදු සසුනේ දී හත් අවුරුදු වියේදී ම රහත් වීමට ද ඒ පින උපකාරී විය.

(අපදානපාලියේ 23 වන අපදානය)

 

පඤ්ච සීල සමාදනීය හිමි පෙර ඒ නිසභ හිමිගෙන් පන්සිල් සමාදන් වු පිනින් තිස් වතාවක් සක් දෙවිඳු විය. හැත්තෑ පස් වතාවක් සක්විති රජකම ලැබුණා. අප බුදු සසුනේ දී විශාලා මහනුවර දී පන්සිල් ගැනීමේ දී ම රහත් වීමට ඒ පෙර පින ද උපනිශ්‍රය වි ඇත.

(අපදාන පාලියේ 24 වන අපදානය)

 

යමෙක් පැහැදුනු සිතින් බුදුන් දහම් සඟුන් සරණ කොට පිහිට කොට වාසය කරයි නම් ඒ අය අපායට නො යන බව මෙසේ දක්වා ඇත.

යේ කේචි බුද්ධං සරණං ගතාසේ න තේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායං පරිපුරෙස්සන්ති”

 

මෙයින් දක්වා තිබෙන්නේ බුදුන් සරණ යන අය අපායට නො යන බව ය. ඒ වගේ ම තමයි ධර්මය ද සංඝයා ද යමෙක් පිහිට කොට සරණ කොට වාසය කරයි නම් ඒ අයද සුගති පරායනය වේ. එසේ ම එක තිරිසන් සතෙකුට දානයක් දෙන ලද්දේ නම් ආත්ම සියයක් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාවන් ගෙන දේ. එසේම මසුන් මරණ අනුන්ට පීඩාකර ජීවත් වන දුස්සීල පුහුදුන් පුද්ගලයෙකුට දානයක් දෙන ලද්දේ නම් ආත්ම භාව දාහක් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාවන් ගෙන දේ. එසේම ඇති අගුණ වහන ස්වභාව නැති, නැති ගුණ පෙන්වන ස්වභාව නැති, අනුන් නො පෙළා දැහැමෙන් සෙමෙන් කෘෂි වෙළඳ ආදී කර්මාන්ත වල යෙදී ජීවත් වන පුහුදුන් සිල්වතෙකුට දුන් දානයේ විපාක ආත්ම භාව ලක්ෂයක් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාවන් ගෙන දේ. තව ද කර්ම ඵල විශ්වාස කරන කර්ම වාදී, කිරිය වාදී කාමයන් කෙරෙහි වීතරාගී සිත් ඇති ලෞකික පඤ්ච අභිඤ්ඤාවන් ඇති බාහිර තාපසයෙකුට දෙන දානයේ විපාක ආත්ම භාව කෝටි ලක්ෂයක් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාවන් දෙන්නා හ.

 

තිසරණ ගත උපාසක කෙනෙකුට දෙන දානයේ විපාක මෙපමණය කියා කිව නො හැකි ය. අසංඛෙය්‍ය අප්පමෙය්‍ය වශයෙන් මජක්‍ධිම නිකා අටුවාවේ දක්වා ඇත. එයට වඩා පංච සීලයෙහි පිහිටියෙකුට දෙන දාන මහත් ඵලවේ. ඊටත් වඩා දස සීලයක පිහිටියෙකුට දෙන දාන මහත් ඵල වේ. ඊටත් වඩා වත්ත සම්පන්න භික්ෂුවකට දෙන දානය මහත් ඵලය. එයටද වඩා අරඹන ලද විදර්ශනා ඇති භික්ෂුවකට දෙන ලද දානය මහත් ඵල වේ. සෝවාන් උතුමෙකුට දෙන දානයට ද වඩා අරඹන ලද විදර්ශනා ඇති උතුමෙකුට දෙන දානය මහත් ඵල වන බව දක්ඛිණාවිභඩ්ග අටුවාවේ දක්වා ඇත.

 

තව ද වේලාම සුත්‍රයට අනුව සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක සකෘදාගාමි කෙනෙකුට ද සකෘදාගාමි සියදෙනෙකුට දෙන දානයට වඩා එක් අනාගාමී උතුමෙකුට දෙන දානය ද අනාගාමී උතුමන් සියදෙනෙකුට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය ද රහතන් වහන්සේලා සියක් නමකට දෙන දානයට වඩා එක් පසේබුදු කෙනෙකුට දෙන දානයේ විපාක සතසහස්ස ගුණයෙන් වැඩි වන්නා හ. ඒ වාගේ ම පසේබුදුන් සියයකට දෙන දානයට වඩා එක් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට දෙන දානය මහත් ඵල මහානිසංස වේ. එයටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානය මහත් ඵල මහානිසංස වන්නා හ.

 

එයට ද වඩා සතර දිගින් වඩිනා මහා සංඝයා උදෙසා විහාරයක් කරවන්නේ නම් එය මහත්ඵල මහානිසංස වන්නා හ. එයටද වඩා යමෙක් ප්‍රසන්න සිතින් බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය සරණ යා නම් මහත්ඵල වේ. එයටද වඩා යමෙක් පැහැදුනු සිතින් තිසරණ සහිත පන්සිල් සමාදන් වන්නේ නම් මහත්ඵල මහානිසංස වන්නා හ. එයටද වඩා යමෙක් සුවඳක් ආඝ්‍රාණය කරන තරම් සුළු කාලයක් නමුදු මෙත් සිත පතුරවන්නේ නම් එය මහත්ඵල මහානිසංස වන බව දත යුතු ය. මෙයට ද වඩා අසුරු ක්‍ෂණයක් තරම් කාලයක් නමුදු අනිත්‍ය සංඥාව වඩයි නම් මහත් ඵල මහානිසංස වන බව වේලාම සුත්‍රයේ දක්වා ඇත.

 

 

සුභ නම් තරුණයා ඇසූ ප්‍ර‍ශ්න 14 හා පිළිතුරු දෙසුම

 

පින්වතුනි! දිනක් සුභ කියන තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 14 ක් අසා සිටියා. එහිදී මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එය පහදා වදාළා. ඒ අනුව, තවත් කර්ම විපාක 14 ක් මෙසේ දත යුතු වෙනවා.

 

1)  සත්ව ඝාතනය හේතුවෙන් මතු ජීවිත වලදි අඩු වයසින් මරණයට පත් වේ.

2)  සතුන් නො මැරීම හේතුවෙන් දීර්ඝායුෂ ලැබේ.

3)  සතුන්ට හිංසා පීඩා කිරීම හේතුවෙන් මතු ජීවිතවලදී නිතර ලෙඩ දුක් වලින් පෙලෙන්නන් වේ.

4)  සතුන්ට හිංසා පීඩා නො කිරීමෙන් නිරෝගී ජීවිත ලැබේ.

5)  ක්‍රෝධ කරන අය අවලස්සන වී උපදින්නා හ.

6)  ක්‍රෝධ නො කරන අය ලස්සන වී උපදින්නා හ.

7)  ඊර්ෂ්‍යා කිරීම හේතුවෙන් අප්‍රසිද්ධ ජීවිත ලැබේ.

8)  ඊර්ෂ්‍යා නො කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ වී ඉපදේ.

9)  දන් නො දීම හේතුවෙන් දිළින්දන් වී උපදිත්.

10)    දන්දීම හේතුවෙන් පොහොසත් තැන්වල උපදිත්.

11)    මානය හේතුවෙන් පහත් කුලවල ඉපදේ, බොහෝ මානය ඇති අය සුනඛයන් වේ, තරමක මානය ඇති අය වඳුරන් වී ඉපදේ.

12)    ධර්මය දැන කියා නො ගෙන ජීවත් වන්නා අනුවණ වී ඉපදේ.

13)    ධර්මය දැන කියා ගෙන ජීවත් වෙන අය නුවණැත්තන් වී ඉපදේ.

14)    නිහතමානී අය උසස් කුලවල ඉපදේ.

(චුල්ලකම්ම විභංග සුත්‍රය)

 

පන්සිල් රැකීමේ ආනිසංස

 

සිල් රකින පින්වතුන්ට ලැබෙන අනුසස් බොහෝ වෙති. සතුන් මැරීමෙන් වැළකී සිටින්නාට විශේෂ ආනිසංස විසිතුනක් ලැබේ. සොරකම් කිරීමෙන් වැලකී සිටින්නාට විශේෂ ආනිසංස එකොළහක් ලැබෙන්නා හ. කාමය වරදවා හැසිරීමෙන් වැළකී සිටින්නාට විශේෂ ආනිසංස දහනවයක් ලැබේ. බොරු කීමෙන් වැළකී සිටින්නාට විශේෂ ආනිසංස දාහතරක් ලැබේ. මත්පැන් පානයෙන් වැලකී සිටින්නාට විශේෂ ආනිසංස තිහක් ලැබේ. පන්සිල් රැකීමෙන් ම ආනිසංස අනූ හතක් ලැබෙන්නා හ.

 

එම ආනිසංස මොනවා ද කියා දැන ගැනීමට අති පූජනීය රේරුකානේ චන්ද්විමල ස්වාමීන් වහන්සේ ගේ පුණ්‍යොපදේශය පොත බලා දැන ගනිත්වා.

 

භාවනානිසංස කීමට බෙහෝ ඇත්තේ නමුදු ග්‍රන්ථය දීර්ඝ වන බැවින් ඒවා නො ලියමි. දන් දීමෙන් මෙපමණ අනුසස් ගෙන දේ නම් බුදු සසුනේ කල හැකි ඉහළ ම පිංකම් වූ භාවනාවන් සිදු කලොත් මොන තරම් ආනිසංස ලබා ගත හැක්කේ දැ යිනුවණින් සිතා සතුටින් මේ උතුම් කුසල ධර්මවල යෙදෙත්වා! පින්වතුනි, මා මෙතෙක් ලියූ දීර්ඝ විස්තරයෙන් ඔබට කියන්නට බලාපොරොත්තු වුනේ හිත හදාගෙන සිදු කරන කුඩා නමුදු පිංකම මහත් සැප විපාක ගෙන දෙන බව ය. එබැවින් මේ ධර්ම ග්‍රන්ථය කියවන සත්පුරුෂයන් පැහැදුනු සිතින් ම පින්කම් කරත්වා!

 

සත්පුරුෂයෙනි!

ඔබ කිසිවෙකු නො වෙහෙසන මුළු ලොවක් සනසන දෑතක් ඇත්තෙකු වන්න. එබඳුම අවිහිංසාවාදි දෙපා යුග්මයක් ඇත්තෙකු වන්න, තම දෙනෙතින් අනුන් නො රවටන්න, අනුන් නො රිදවන්න, මුළු ලොවක් සනසන දෙනෙතක් ඇත්තකු වන්න. ඔබ දෙසවන නො මඟට නො යොදවන්න, සුමඟට යොදවන්න, කය සංවර කරගන්න. නිතරම ඔබ කථා කරන වචන නිවැරදි දැයි සිතන්න. අනුන් රිදවා දුක් දී තමාට කිසිඳු සැපයක් ලැබිය නො හැකි බව සිතන්න. යහපත් වූ සැම සිත් නිවන සනසන වචන ම කථා කරන්න, ඔබ සිත නො මඟට නො යොදන්න, සුමඟට යොදන්න. ශාන්ත වූ සංවර වූ සංසිඳුනා වූ සුවපත් වූ මනසක් ඇත්තකු වන්න. කිසිඳු කිසි දින පහත් සිතුවිලි නො සිතන්න.

 

පින්වතුනි! මලක් වුනත් පැහැය පමණක් තිබුණාට මදි. දසත පැතිරෙන සුවඳ දතිබීම වැදගත්. එසේම ඔබ ද ලස්සන සුවඳවත් මලක් වගේ ගුණයෙන් නුවණින් හෙබි මිනිසකු වන්න. පින්වතුනි! මේ ලෝකයේ ගස් කොළන් තිබුණට සඳුන් ගස් බොහො ම අඩුයි. එසේ ම නොයෙක් පාෂාණ ඇතත් මැණික් ගල් බොහො ම අඩුයි. ඇතුන් හිටියත් ගජ මුතු තිබෙන ඇතුන් බොහො ම අඩුයි.

 

පින්වතුනි! මේ වගේ තමයි, ලෝකයේ මිනිසුන් සිටියට කළ ගුණ දන්න පහත් වැඩ නො කරන අනුන්ට දුක් නො දෙන හැදුනු සිතක් ඇති මිනිසුන් බොහො ම අඩුයි. සත්පුරුෂයිනි! ඔබ ගස් අතර සඳුන් ගසක් වගේ, ඇතුන් අතර ගජමුතු තිබෙන ඇතෙක් වගේ, මුවන් අතර කස්තුරි තිබෙන මුවෙක් වගේ, පාෂාණ අතර බැබළෙන මැණිකක් වගේ, ගුණයෙන් නුවණින් යුතු අනුන්ට දුක් නො දෙන සාදු ජනයා ගේ ආදර ගෞරවයට ලක් වූ මානව හිතවාදී දයානුකම්පිත මිනිසකු වන්න අධිෂ්ඨාන කරගන්න.

 

සැමදෙනාට ම සම්මා සම්බුදු සරණයි.!!!