වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම
රේරුකානේ චන්දවිමල හිමි
පටුන
පටුන

වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

(එකොලොස් වන මුද්‍ර‍ණය)

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.

2552/2008

ප්‍රස්තාවනා - වඤ්චක ධර්ම

වඤ්චක ධර්ම නමැති මෙම ග්‍රන්ථය චිත්ත චෛතසික සඞ්ඛ්‍යාත පරමාර්ථ ධර්මයන් ගේ එක්තරා තත්ත්වයක් දක්වන්නක් බැවින් අභිධර්ම ග්‍ර‍න්ථයකි. මෙම ග්‍ර‍න්ථයෙහි දක්වනුයේ ඒ චිත්ත චෛතසිකයන්ගේ වඤ්චකත්වය ය. චිත්තය වනාහි අති විචිත්‍ර‍ දෙයකි. එයට වඩා විචිත්‍ර‍ වූ තවත් දෙයක් ලෙව්හි නැත. එබැවින් තථාගතයන් වහන්සේ විසින් :

‘‘දිට්ඨං වො භික්ඛවේ! චරණං නාම චිත්තන්ති? එවං භන්තේති. තම්පි ඛො භික්ඛවෙ! චරණං නාම චිත්තං චිත්තේනේව චිත්තිතං තෙනාපි ඛො භික්ඛවෙ! චරණේන චිත්තේන චිත්තමෙව චිත්තතරං” යනු ද,

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එකනිකායම්පි සමනුපස්සාමි එවං චිත්තං යථයිදං භික්ඛවෙ! තිරච්ඡානගතා පාණා. තෙහි පි ඛො භික්ඛවෙ! තිරච්ඡානගතෙහි පාණෙහි චිත්තමෙව චිත්තතරං” යනු ද වදාරන ලදී.

සෝමනස්ස සහගත දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත වූ මේ පළමුවන අකුශල චිත්තය සාමාන්‍යයෙන් එකක් වුව ද පුද්ගලයන් දහසක් තුළ ඇති වනුයේ දස දහස් ආකාරයකිනි. ලක්ෂයක් තුළ ඇති වනුයේ ආකාර ලක්ෂයකිනි. එක් පුද්ගලයකු තුළ ම වුව ද අවස්ථා දහසකදී ඇතිවනුයේ ආකාර දහසකිනි. අවස්ථා ලක්ෂයකදී ඇති වනුයේ ආකාර ලක්ෂයකිනි. සිත පමණක් නොව එය හා උපදනා වූ ලෝභාදී චෛතසිකයෝ ද, සිත සේ ම විචිත්‍ර‍ වෙති. සාමාන්‍යයෙන් එකක් වූ ලෝභය පුද්ගලයන් දහසක් කෙරෙහි උපදිනුයේ දහස් ආකාරයකිනි. දස දහසක් තුළ උපදිනුයේ ආකාර දස දහසකිනි. ලක්ෂයක් තුළ උපදිනුයේ ආකාර ලක්ෂයකිනි. එක් පුද්ගලයකු තුළ ඉපදීමෙහි ද ඒ ඒ අවස්ථාවල සැටියට නොයෙක් ආකාර වන්නේ ය. මේ චිත්ත චෛතසිකයන්ගේ විචිත්‍ර‍ත්වයයි.

මෙසේ විචිත්‍ර‍ වූ චිත්ත චෛතසිකයන් අතුරෙන් අකුශල චිත්ත චෛතසිකයෝ සමහර අවස්ථාවලදී ඒවා යම් කිසිවකුගේ සන්තානයෙහි උපදින්නාහු නම් ඒ පුද්ගලයාට ඒවා අකුශල ධර්මයන් බව නො දැනෙන තරමට කුශල ධර්මයෝයයි පුද්ගලයන් රවටති. උපන් පුද්ගලයාට කුශල ධර්මයකැ යි රැවටීමට හේතු වන සැටියට කුශල ධර්මයන් ගේ ආකාරය ගෙන උපදින්නා වූ ඒ ලෝභාදී අකුශල ධර්මයෝ වඤ්චක ධර්ම නම් වෙති. ‘‘පරාර්ථ කාමතා වේශයෙන් වඤ්චක ලෝභය දාතුකාමතා වේශයෙන් වඤ්චක ලෝභය” යනාදීන් මෙම ග්‍ර‍න්ථයෙහි දක්වනු ලබනුවෝ කුශලයන් ගේ ආකාරය ඇති ඒ අකුශල ධර්මයෝ ය. එයින් අකුශලයක කුශලය වීම හෝ කුශලයක අකුශලයක් වීම හෝ අදහස් කරනු නො ලැබේ. කිසිකලෙක අකුශලය කුශලයක් හෝ කුශලය අකුශලයක් හෝ නො වේ. මුළා නො වෙනු.

අමු මැටි පිඩේ යටිපැත්ත තුබූ ස්ථානයේ ආකාරය ගන්නාක් මෙන් සමහර විට ලෝභාදී ධර්මයෝ උපදනා පුද්ගලයා ගේ අදහස්වල ආකාරය ගනිති. එබැවින් පාපයට නො කැමති පාපය පිළිකුල් කරන පාපයට බිය වන කුශලාධ්‍යාශය ඇති තැනැත්තන් කෙරෙහි උපදනා කල්හි බොහෝ සෙයින් පුද්ගලයා ගේ අදහසට අනුකූලවීම් වශයෙන් ලෝභාදී අකුශල ධර්මයෝ කුශලයන්ගේ ආකාරයෙන් පහළ වෙති.

වඤ්චක ධර්ම නම් වූ කුශල ධර්මයන්ගේ වේශයෙන් සන්තානයෙහි පහළ වන්නා වූ ඒ අකුශල ධර්මයන්ගෙන් කෙරෙන වඤ්චනය තමා විසින් ම තමහට කරගන්නා වඤ්චනය වේ. තවත් ක්‍ර‍මයකින් කියතහොත් එය තමා ගේ සිත විසින් ම තමා ගේ සිතට කරන වඤ්චනයකි. එබැවින් අන්‍යයන් විසින් රැවටීමට දුෂ්කර වූ බොහෝ නුවණැති පුද්ගලයෝ ද ඔවුන් ගේ සන්තානයෙහි උපදනා වඤ්චක අකුශල ධර්මයන්ට රැවටෙති. සාමාන්‍ය ජනයා තබා බොහෝ ධර්ම ශාස්ත්‍ර‍ උගත්තු ද නොයෙක් විට ඔවුන් ගේ සන්තානයන්හි පහළ වන වඤ්චක ධර්මයන්ට රැවටී නො මග යෙති. සාමාන්‍ය ජනයන් ගේ රැවටීම ගැන කියනු ම කිම?

වඤ්චක ධර්මයන්ට රැවටී අගුණය ම ගුණය යි වරදවා ගෙන තමන් ගේ සන්තානයෙහි ඒවා වැඩි වැඩියෙන් ඇතිකර ගන්නෝ ද, පින් යයි වරදවා ගෙන ඇතැම් පව්කම් කරන්නෝ ද, සගමොක් මග යයි රැවටී අපාමගට බසින්නෝ ද ලෝකයෙහි බොහෝ ය. ඒ බව තේරුම් ගත හැකි වන්නේ වඤ්චක ධර්ම දැන උගෙන නුවණින් ලෝකය දෙස බලන්නවුන්ට ය. උගතා පවා නො මග යවන බැවින් ද වඤ්චක ධර්මයෝ මහානර්ථකරයහ.

පින් පව් නියම වශයෙන් හැඳින, තමන් ගේ සිත පිරිසිදු කර ගැනීමට හා තමන් ගේ ක්‍රියා පිරිසිදු කර ගැනීමට ද ඇත්තා වූ එකම උපාය වඤ්චක ධර්මයන් පිළිබඳ මනා දැනුමක් ඇති කර ගැනීමය. විශේෂයෙන්ම පරලොව යහපත සඳහා තම තමන් විසින් කරගන්නා පින් පිරිසිදුව කරගත හැකිවීමට වඤ්චක ධර්මයන් පිළිබඳ දැනුම තිබිය යුතුය. පැවිද්දන්ට හා ගුරුවරුන්ටත් අන්‍ය අනුශාසකයන්ටත් විශේෂයෙන් ඒ දැනුම තිබිය යුතුය.

වඤ්චක ධර්ම පිළිබඳව බෞද්ධ ජනතාවට අවබෝධයක් ඇතිකර ගැනුමට ඒවා පිළිබඳව ලියවුණු පොත පත තිබිය යුතුය. එහෙත් එය සඳහා සැපයුණු පොතක් අපේ රටේ දක්නට නැත. එබැවින් සාමාන්‍ය ජනයාට තබා උගතුන්ට ද වඤ්චක ධර්ම ගුප්ත දෙයක් වී තිබේ. බොහෝ දෙනා එබඳු ධර්ම කොටසක් ඇති බව පවා නොදනිති. ගුප්ත දෙයක් වී තිබෙන වඤ්චක ධර්ම ශක්ති පමණින් බෞද්ධ ජනයාට හෙළිකර දීම පිණිස වඤ්චක ධර්ම නම් වූ මෙම ග්‍රන්ථය අප විසින් සම්පාදිත ය.

වඤ්චක ධර්ම බොහෝය. මෙම ග්‍ර‍න්ථයෙහි දැක්වෙන්නේ ඒවායින් කොටසකි. එකවරට ම වඤ්චක ධර්ම සියල්ල සොයා දක්වා ග්‍රන්ථයක් කිරීම පහසු කාර්යයක් නොවන බැවින් සොයාගත හැකි වූ පමණින් මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. අපගේ මේ උත්සාහය වඤ්චක ධර්ම හෙළි කිරීමේ මුල පිරීම වශයෙන් සැළකිය යුතු ය.

මෙම ග්‍ර‍න්ථයෙහි දැක්වෙන වඤ්චක ධර්මයන් ගෙන් අටතිසක් නෙත්තිප්‍ර‍කරණාර්ථකථාවෙහි දැක්වුණු වඤ්චක ධර්මයෝ ය. ඉතිරි වඤ්චක ධර්ම දක්වා ඇත්තේ අභිධර්ම ග්‍ර‍න්ථවල එන කරුණු අනුසාරයෙන් අපට පෙනුණු සැටියකි. ඇසට නො පෙනෙන කයට හසු නො වන අද්‍ර‍ව්‍ය වූ සටහන් නැත්තා වූ පැහැයක් නැත්තා වූ චිත්ත චෛතසික ධර්මයෝ අතිසූක්ෂමයහ. එබැවින් ඒවායේ තත්ත්වයන් නිවැරදිව සෙවීම පහසු කාර්යයක් නො වේ. ඒවා ගැන සොයන්නවුන්ට නොයෙක් විට වැරදි හැඟීම් ඇතිවේ. එබැවින් අපට වැටහුණු සැටියට මෙහි දක්වන ලද කරුණු සියල්ල එසේම සත්‍යය යි අපි නො කියමු. සමහරවිට අපගේ රැවටීම් ද මෙම ග්‍ර‍න්ථයට ඇතුළත් වී තිබිය හැකි ය. පරමාර්ථ ධර්ම වේදීහු විමසත්වා!

මීට, රේරුකානේ චන්දවිමල ස්ථවිර

(1947) ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට.

වඤ්චක ධර්ම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

රැවටීම සත්ත්වයාගේ ස්වභාවයකි. කොතරම් උගතකු නැණවතකු වුවද අසර්වඥ නම් හෙතෙමේ සමහර කරුණුවල දී රැවටේ. මන්ද බුද්ධිකයෝ වනාහි නොයෙක් කරුණුවලට නිතර නිතර රැවටෙති. රැවටීම වනාහි අන් පුද්ගලයකුට හෝ වස්තුවකට හෝ රැවටීම ය, තමාට ම රැවටීම යයි දෙපරිදි වේ. එයින් අනුන්ට හා අන් දේවලට රැවටීම ලෝකයේ කවුරුනුත් දන්නා ප්‍ර‍ට කරුණකි. තමාට ම තමා රැවටීම වනාහි සෑම දෙනා ම නො දත් ගුප්ත කරුණකි. එක්කෙනකු විසින් අනෙකකු රවටන්නට තැත් කළත් අනෙකා නුවණැතියෙක් වී නම් රැවටිල්ලට ඔහු හසුවනුයේ කලාතුරකිනි. හසුවූයේ ද ඔහුට වැඩි කල් නො ගොස් ඒ බව අවබෝධ වේ. ඒ බව අනෙකකු විසින් කියුව හොත් ඔහුට වහා ම එය අවබෝධ වේ.

බොහෝ උගත්තු ද නුවණැත්තෝ ද නොයෙක් විට තමන්ට රැවටෙති. මන්දබුද්ධිකයන් ගේ තමන් ගැන රැවටීම කියනුව කිම? තමා ගැන රැවටුණු තැනැත්තාහට අනුනට රැවටුණ තැනැත්තාට මෙන් ඒ බව පහසුවෙන් අවබෝධ නො වේ. බොහෝ සෙයින් ඔහුට ඒ රැවටිලි මුළු ජීවිත කාලයේ දී ම නො වැටහේ. ඔහු ගේ රැවටුම තේරුම් ගත් අන් නුවණැතියකු විසින් ඒ බව ඔහුට කියූවත් ඔහු එය නො පිළිගන්නේය. එබැවින් අනුන්ට රැවටීමට වඩා මහත් වූ නපුරු වූද රැවටිල්ල තමා ගැන ම රැවටීම බව කිව යුතු.

මෙහි තමාට තමා රැවටීම යැයි කියනු ලබනුයේ අන්‍ය ධර්මයක වේශයෙන් අන්‍ය ධර්මයක ආකාරයෙන් සත්ත්ව සන්තානයෙහි පහල වන සිත්වලට රැවටීම ය. ස්වීය තත්ත්වය වසා ගෙන අන්‍ය වේශයකින් සිත් පහළ වනුයේ නන් වෙස් ගන්නා කෙලෙසුන් හා සම්ප්‍රයෝගයෙනි. ආර්‍ය්‍ය මාර්ග ඥානය උපදවා එහි බලයෙන් මතු නූපදනා පරිද්දෙන් කෙලෙසුන් නො නැසූ පුද්ගලයා තුළ, ඒ කෙලෙසුන් කොතෙක් කල් යටපත් වී තිබුණත් කොතරම් උත්සාහයකින් යට පත් කරන ලදුවත් කෙලෙසුන්ට හිත වූ අරමුණක් මුණ ගැසුණු කල්හි ඒ ක්ලේශයෝ උපදනාහු ය. කෙලෙසුන් ගේ හා පව් කම්වල ආදීනවය දැක්වෙන ධර්මයන් ඇසීමෙන් ද, කෙලෙසුන් හා පව් පිළිකුල් කරන සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් ද, නුවණ වැඩීමෙන් ද, සත්ත්වයන් කෙරෙහි කෙලෙසුන්ට හා පව්කම්වලට බියක් පිළිකුලක් ඇති වේ. එය වනාහි කෙලෙසුන්ටත් පව්කම්වලටත් විරුද්ධ හැඟීමකි.

ආරක්ෂකයකු ඇත්තා වූ ගෙයකට සොරුන්ට පිවිසීමට අවකාශ මඳ වන්නාක් මෙන් ක්ලේශයන්ට විරුද්ධ වූ ඒ හැඟීම ඇත්තා වූ තැනැත්තාගේ සන්තානයෙහි ක්ලේශයන් ගේ පහළ වීමටත් පහළ වී ක්‍රියාකාරී වීමටත් අවකාශ මඳ වන්නේ ය. එකල්හි ක්ලේශයෝ ඒ පුද්ගලයා ගේ සන්තානයෙහි පහළ වීමටත් ක්‍රියාකාරී වීමටත් අන් මගක් ගනිති. එනම් යම්කිසි කුශල ධර්මයක වේශය, කුශල ධර්මයක ආකාරය ගැනීම ය.

ක්ලේශයක් තමා ගේ ආකාරය සඟවා යම් කිසි කුශල ධර්මයක වේශයෙන් උපන් කල්හි, කෙලෙසුන් පිළිකුල් කරන කෙලෙසුන්ට බිය වන තැනැත්තා රැවටෙන්නේ ය. හෙතෙම ‘කුශල ධර්මයකැ’යි සිතා එය පිළිගන්නේ ය. එයට ස්වසන්තානයෙහි වැඩෙන්නටත් ක්‍රියාකාරී වීමටත් ඉඩ දෙන්නේ ය. මෙසේ තමන්ගේ නියම ආකාරය සඟවා යම් කිසි කුශල ධර්මයක වේශයෙන් පහළ වන්නා වූ ක්ලේශයෝ වඤ්චක ධර්ම නම් වෙති. තමන්ගේ සන්තානයෙහි ම හටගන්නා වූ මේ ක්ලේශයන්ට රැවටීමට ලෝක ව්‍යවහාරය අනුව කියන කල්හි තමාට තමා රැවටීම ය යි කියනු ලැබේ.

කෙලෙසුන් කෙරෙන් දුරු ව පාපයෙන් වෙන් ව ශුද්ධ ජීවිතයක් ගත කරනු කැමැත්ත ඇති ගිහි පැවිදි බොහෝ සත්පුරුෂයෝ වඤ්චක ධර්ම නම් වූ කුශල වේශයෙන් පැමිණෙන මේ ක්ලේශයන්ට රැවටී, ශුද්ධ ව විසීමේ අපේක්ෂාව තිබියදී ම ඒ ක්ලේශයන්ට ඉඩ දීම් වශයෙන් සමහර විට කෙලෙස් වඩති.

කෙලෙස් සහිත සිතිවිලි සිතති. ඒ ක්ලේශයන්ට වසඟ වීමෙන් “පින් කරමි” යන අදහසින් පව් කරති. ආත්මශුද්ධිය අපේක්ෂා කරන පින්වතුන්ට කෙලෙසුන් ගේ නන් වෙසින් පැමිණීම මහත් බාධාවකි. ක්ලේශයන් ගේ වඤ්චක ස්වභාවය ගැන නො දත් පුද්ගලයෝ මේ ක්ලේශ වඤ්චනයට වඩාත් හසු වෙති. ආත්ම ශුද්ධය අපේක්ෂා කරන පෘථග්ජනයන්හට ඒ ශුද්ධිය මැනවින් රැක ගැනීමට ඇත්තා වූ උපාය නම්, ක්ලේශයන් ගේ වඤ්චක ස්වභාවය ගැනත් ඒ ඒ ක්ලේශයන් ගන්නා වේශයෙනුත් මැනවින් දැන ගැනීම ය. එබැවින් ආත්ම විශුද්ධිය අපේක්ෂා කරන පින්වතුන්ට දැන ගැනීම පිණිස ක්ලේශ සඞ්ඛ්‍යාත පාප ධර්මයන් නා නා කුශල ධර්මයන් ගේ වෙස් ගන්නා සැටි දක්වනු ලැබේ. එය ආදරයෙන් කියවා වඤ්චක ධර්ම පිළිබඳ අවබෝධයක් ඇති කර ගනිත්වා!

ලෝභය

නොලැබූ සැප සම්පත් ලැබීමේ ලෝභය, ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය, සැප විඳීමේ ලෝභය යැ යි ලෝභය තෙ වැදෑරුම් වේ. එයින් නො ලැබූ සැප සම්පත් ලැබීමේ ලෝභය, පරාර්ථ කමතා දාතුකාමතාදී වෙස් ගෙන වඤ්චා කරන්නේ ය.

පරාර්ථකාමකා වේශයෙන් වඤ්චක ලෝභය

“පරාර්ථකාමතා” යනු කුශලච්ඡන්දයකි. අනුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන පරාර්ථකාමී සත් පුරුෂයන් ඒ නිසා කීර්ති ප්‍ර‍ශංසා ගරු බුහුමන් ලාබ සත්කාර තනතුරු ලබනු දක්නා තැනැත්තා කෙරෙහි තමාටත් ඒවා ලැබීමේ ආශාව ඇති වේ. කීර්ති ප්‍ර‍ශංසාදිය ලබනු පිණිස අනුන්ට වැඩ කිරීම වනාහි අනුන්ට යහපත කිරීමේ ආකාරයෙන් ආත්මාර්ථය ම සිදු කර ගැනීමකි. එසේ කිරීම ලෝකයා රැවටීමකි. එය ගුණවතුන් විසින් නැණවතුන් විසින් පිළිකුල් කරන දෙයකි. ඒ බව තේරුම් ගත් තැනැත්තා කෙරෙහි “කීර්ති ප්‍ර‍ශංසාදිය ලබනු සඳහා පරාර්ථය පිණිස ක්‍රියා කිරීම ලාමකය, නො මනා දෙයක” යන අදහස ඇති වේ.

මේ අදහස, ලොවට වැඩ කොට ලබන කීර්ති ප්‍ර‍ශංසාදිය පිළිබඳ ආශාව ඔහුගේ සිත්හි ඇති වීමටත් ඇති වූවත් ක්‍රියාකාරිත්වයට පැමිණීමටත් බාධකයක් වෙයි. ඔහු ඒ ආශාව සිත්හි හටගත් සෑම අවස්ථාවක දීම එයට වැඩෙන්නටත් ක්‍රියාකාරී වීමටත් ඉඩ නොදී සිතින් බැහැර කරයි. නැවත නැවත එසේ බැහැර කරන කල්හි කීර්ති ප්‍ර‍ශංසාදිය පිළිබඳ වූ ලෝභය ඔහු ගේ අදහසට අනුකූල වන ලෙසට අන් වෙසක් ගනී. කල්යෑමෙන් ඔහුගේ සිත්හි පෙර නො පැවති පරාර්ථකාමතාවක් ඇති වේ. එය පෙර කී ලෝභය පරාර්ථකාමතා වේශයෙන් ඔහුගේ සන්තානයෙහි පහළ වීම ය. මෙසේ පරාර්ථකාමතා වේශයෙන් ඒ ලෝභය එළඹ සිටි කල්හි පෙර එය පිළිකුල් කොට බැහැර කරමින් සිටි තැනැත්තා රැවටී එය පිළිගනී. එයට ක්‍රියාකාරී වීමට හේ ඉඩ දෙයි. පරාර්ථකාමතා ප්‍ර‍තිරූපක ඒ ලෝභයට අනුකූල වී, හේ ඉන්පසු පරාර්ථය පිණිස ක්‍රියා කරන්නට බස්නේ ය.

සමහර විට මෙ බඳු අවස්ථාවල දී ප්‍රතිරූපක පරාර්ථකාමතාව නො ව නියම පරාර්ථකාමතාව වූ කුශලච්ඡන්දයමත් ඇති වේ. කුශල ප්‍ර‍තිරූපක පරාර්ථකාමතාවේ හා කුශල පරාර්ථකාමතාවේ වෙනස තේරුම් ගැනීම නම් අතිශයින් දුෂ්කර ය. ඒ දෙක්හි වෙනස සාමාන්‍යයෙන් මෙසේ සැලකිය යුතු. ප්‍ර‍තිරූපක පරාර්ථකාමතාවෙන් ක්‍රියා කරන තැනැත්තා තමාට වාසියක් නො පෙනෙන තැන දී එය ගැන වැඩි සැලකිල්ලක් නො දක්වයි. කිරීමෙන් ප්‍ර‍සිද්ධියට පැමිණෙන පරාර්ථ සාධක කටයුතු සොය සොයා කරයි. අමාරුවෙන් වුව ද කරයි. තමා ගේ ක්‍රියාව ප්‍ර‍සිද්ධ නො වන තැන දී උපකාරයක් ඉල්ලා එන තැනැත්තාට වුවය ද සැලකිල්ලක් නො කරයි. ප්‍ර‍සිද්ධ වන තැන දී අනුන් ගෙන් උපකාරයක් නො වුව මනා අයට ද උපකාර කරන්නට තැත් කරයි. කුශල පරාර්ථකාමය ඇති තැනැත්තා ප්‍ර‍සිද්ධ වන නො වන දෙතැන දී ම වෙනසක් නැති ව ක්‍රියා කරයි.

දාතුකාමතා වේශයෙන් වඤ්චක ලෝභය

“දාතුකාමතා” යනු දෙනු කැමැත්තය. එය කුශලච්ඡන්දයකි. ලෝභයට විරුද්ධ ස්වභාවයකි. එහෙත් ස්වල්පයක් දීමෙන් අනුන් සතුටු කරවීමෙන් ඔවුන්ගෙන් බොහෝ දේ ලැබිය හැකි බව හා බොහෝ වැඩ කරවා ගත හැකි බව ද තමාට අනුන් අනුකූල කරවා ගත හැකි බව ද දක්නා වූ තැනැත්තා කෙරෙහි සමහර විට ලෝභය දාතුකාමතා සඞ්ඛ්‍යාත කුශලච්ඡන්දයා ගේ වේශයෙන් පහළ වේ. දීම කුශලයක් වුව ද අනුන්ගෙන් ගැනීම පිණිස දෙන දීමනාව කුශල පක්ෂයට නො වැටේ. ගැනීමට කරන උපක්‍ර‍යක් වූ ඒ දීම, නියම දීමක් නො ව ගැනීමේ ම කොටසකි. ලෝභ සහගත සඞ්ඛ්‍යාත කුශලච්ඡන්දයා ගේ වේශයෙන් හටගත් ලෝභය ඇති තැනැත්තා කුශලාධ්‍යාශයකැ’යි ඒ ලෝභයට රැවටී, “දීම යහපත් වැඩක් ය. කුශලයක් ය” කියා අනුන්ගෙන් ගනු රිසියෙන් ලෝභ සහගත වූ අකුශල් දීමනාව කරන්නට බස්නේ ය. දීම කුශලයක් වනුයේ ද අලෝභය, මෛත්‍රිය, ප්‍ර‍ඥාව යන ධර්මයන් ගෙන් යුක්ත වූ සිතින් කරන කල්හි ය. ලෝභය ද්වේෂය මෝහය යන මේවායින් යුක්ත වූ සිතින් කරන දීම් සියල්ල ම අකුශල වන්නේ ය.

කෘතඥතා වේශයෙන් වඤ්චක ලෝභය

අනෙකකු විසින් තමාට කළ උපකාරය අමතක නො කරන්නා වූ ද, උසස් කොට සලකන්නා වූ ද, තමා විසින් ඔහුට නැවත උපකාර කරන්නා වූ ද, ස්වභාවය කෘතඥතාව යි. මෙහි බුද්ධාදීන් විසින් වර්ණනා කරන ලද උතුම් ගුණයෙකි. කෘතඥතාව ඇතියවුන්ට උපකාර කළ අය විශේෂයෙන් ඔවුන්ට පහදිති. නැවත නැවතත් උපකාර කිරීමට සිතති. ඒ බව දත් පුත්‍ර‍ ශිෂ්‍යාදීන් කෙරෙහි, මා පිය ගුරුවර ආදීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ ආශාව වූ ලෝභය කෘතඥතා වේශයෙන් පහළ වේ. ඔවුහු එය තමන්ගේ කෘතඥතා ගුණය යි සිතාගෙන ලෝභ සහගත සිතින් ම මා පිය ගුරුවර ආදීන්ට සත්කාර කෙරෙති. ඔවුන් පමණක් නොව එයට මා පි ගුරුවර ආදීහු ද ඔවුන් ගේ ක්‍රියා දක්නා අන්‍යයෝ ද රැවටෙති. සමහර පුත්‍ර‍ ශිෂ්‍යාදීහු මා පිය ආදීන් රැවටීමටත් එසේ කරති. මෙය ඔවුන් සඳහා කියන ලද්දක් නො වේ. මෙය පමණක් නොව මෙම පොතෙහි දක්වන වඤ්චක ධර්ම සියල්ල ම අනුන් රැවටීමට කරන කපටිකම් නොව ඒ ඒ පුද්ගලයා ම රැවටෙන කරුණු බව සැලකිය යුතුය.

අපචිතිකාමතා වේශයෙන් වඤ්චක ලෝභය

ගරු බුහුමන් කළ යුක්තන්හට ගරු බුහුමන් කරනු කැමති බව “අපචිතිකාමතා” නමි. එය ද කුශලච්ඡන්දයකි. මා පිය ගුරුවර ආදී ගරු බුහුමන් කිරීමට සුදුසු පුද්ගලයන්ට ගරු බුහුමන් කිරීමෙන් ඔවුන් සතුටු කර ඔවුන්ගෙන් ලාභ ප්‍රයෝජන වඩ වඩා ලැබිය හැකි බව දත් ඇතැම් පුත්‍ර‍ ශිෂ්‍යාදීන් කෙරෙහි මා පිය ආදීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ කැමැත්ත වූ ලෝභය සමහර විට “අපචිතිකාමතා”වේශයෙන් හෙවත් ගරු බුහුමන් කරනු කැමති බැව්හි ආකාරයෙන් පහළ වේ. එයට රැවටෙන පුත්‍ර‍ ශිෂ්‍යාදීහු එය තමන් ගේ ගුණයක් වශයෙන් ම පිළිගෙන ලෝභ සහගත සිතින් ම මා පිය ආදීන්ට ගරු බුහුමන් කොට ඒ පිනෙන මතු ස්වර්ග සම්පත්තිය පවා බලාපොරොත්තු වෙති. එය පිනක් නො වන බව ඔවුන්ට වටහා ගැනීම අතිශයින් දුෂ්කර ය.

අනුකූලතා වේශයෙන් වඤ්චක ලෝභය

මා පිය ගුරුවරාදීන්ට කීකරු වන බව අනුකූලතාව ය. කීකරු වූ දරුවාට, කීකරු වූ ශිෂ්‍යයාට මා පිය ආදීහු විශේෂයෙන් අනුකම්පා කරති. ඒ බව දත් ඇතැමුන් කෙරෙහි මා පිය ආදීන් ගෙන් උපකාර ලැබීමේ ලෝභය අනුකූලතාවේ වේශයෙන් පහළ වේ. එයින් වඤ්චිත වූ තැනැත්තේ මා පිය ආදීන්ට තමන් ගේ සත්‍ය වූ අනුකූලතාවක් කීකරු බවක් නැත ද ඉතා කීකරු බවක් දක්වයි.

ප්‍රියවාදිතා වේශයෙන් වඤ්චක ලෝභය

ප්‍රිය වචනයෙන් කථා කරන ස්වභාවය ප්‍රියවාදිතා නමි. එය උතුම් ගුණයකි. ප්‍රිය වාදියාට අන්‍යයෝ සතුටු වෙති. උපකාර වුවමනා අවස්ථාවේදී උපකාරී ද වෙති. ප්‍රිය වචනයෙන් කථා කිරීම අනුන් ගේ සිත් ඇද ගැනීමට හොඳ ම උපායයකි. ඒ බව දත් සමහරුන් කෙරෙහි අන්‍යයන් සතුටු කරවා ලාභසත්කාර ගැනුමේ ලෝභය ප්‍රියවාදීත්වයේ වේශයෙන් පහළ වේ. මෙය බොහෝ සෙයින් අනුන්ගෙන් ලාභ සත්කාර ලබන පැවිද්දන් කෙරෙහි හා මන්ත්‍ර‍ සභාදියට ඇතුළුවීමට ජනයා ගේ ඡන්දය සොයන්නවුන් කෙරෙහි ඇති වන්නකි.

නෛෂ්කාම්‍යකාමතා වේශයෙන් වඤ්චක ලෝභය

කාම්‍ය වස්තුන් හැර දමනු කැමති බව, ගිහිගෙය හැර පැවිදි වනු කැමති බව “නෛෂ්කාම්‍යකාමතා” නමි. ඇතැම් පැවිද්දන් මහජනයාගෙන් බොහෝ ගරු බුහුමන් පූජා සත්කාර ලබමින් දනිසුරන්ගේ විලාසයෙන් සැප විඳිනු දක්නා වූ ද, සාමාන්‍යයෙන් සියලු ම පැවිද්දන් මහජනයා ගෙන් පූජා සත්කාර ලබන බව දක්නා වූද, සමහර ගිහියන් කෙරෙහි, පැවිදි ව පූජා සත්කාර ලැබීමේ, සැප විඳීමේ ලෝභය නෛෂ්කාම්‍යකාමතා වේශයෙන් ම පහළ වේ. එයට රැවටුණ තැනැත්තේ සසරට කලකිරුණු ආකාරයෙන් හෝ බුදු සස්න දියුණු කිරීමට බලාපොරොත්තු වන්නකුගේ ආකාරයෙන් හෝ පැවිදි වන්නට උත්සාහ කරයි. සමහර විට පැවිදි ද වෙයි. මෙසේ බුදු සස්නට බැස ගන්නවුන් ගේ පැවිද්ද සමහර විට සාර්ථක ද වේ.

ධර්මදේශනාකාමතා වේශයෙන් වඤ්චක ලෝභය

ධර්ම දේශනා කාමතාව ද කුශලච්ඡන්දයකි. දහම් දෙසීමෙන් ලැබිය හැකි ලාබ සත්කාර කීර්ති ප්‍ර‍ශංසා පිළිබඳ ලෝභය ලාභ සත්කාර පිණිස දහම් දෙසීම පිළිකුල් කරන තැනැත්තා ගේ සිත්හි සමහර විට ධර්ම දේශනා කාමතා වේශයෙන් පහළ වෙයි. හේ “ධර්ම දේශනාව තමා ගේ යුතුකමකැ” යි දහම් දෙසීමට පටන් ගනී. ධර්ම දේශනා කාමතා වේශයෙන් පහළ වූ ලෝභයට රැවටී දහම් දෙසන තැනැත්තා ලාභයක් නොවන තැන දහම් දෙසීමට මැලි වෙතත් එහි කාරණය ඔහුට නො වැටහෙයි. ධර්මදේශනා කාමතා කුශලච්ඡන්දයේ රූපයෙන් පහළ වූ ලෝභයා ගේ මෙහෙයුමෙන් දහම් දෙසන තැනැත්තා ගේ දේශනාව සෘජු ව කරන ශුද්ධ දේශනාවක් නො වේ. මහජනයා ස්වර්ග මෝක්ෂ මාර්ගයෙහි පිහිට වීමට වඩා ඔහු බලාපොරොත්තු වනුයේ ජනයාගේ සිත් සතුටු කිරීමට ය. ජනයා ගේ සිත් තමා කෙරෙහි පැහැද වීමට ය. එබැවින් ඔහුගේ දේශනාව ඔහුට නො දැනීම වාගේ ඒ අතට යයි. එයින් ඔහුගේ ධර්මය ද ඔහුට නො දැනීම නියම බුද්ධ ධර්මය නොව ප්‍ර‍තිරූපක ධර්මයක් (ධර්මය වැනි දෙයක්) වන්නේ ය. මෙසේ රැවටීමක් නැති ව ලාභය සඳහා ම දහම් දෙසන්නෝ ද ඇත්තාහ. ඔවුහු තුමූ රැවටුණෝ නොව දැන දැන ම ලොව රවටන්නෝ ය.

කරුණා වේශයෙන් වඤ්චක ලෝභය

කරුණා දැක්වීම් වශයෙන් අනුන්ගේ සිත් සතුටු කර ඒ මගින් ලාභ සත්කාර ලබා ගැනීමේ ලෝභය සමහර විට කරුණා වේශයෙන් ම පහළ වන්නේ ය. මෙය බොහෝ සෙයින් භික්ෂූන් කෙරෙහි සිදුවන කරුණකි. සැබෑ කරුණාව දුඃඛිතයන් පිළිබඳව නොව පොහොසතුන් පිළිබඳව ය. මේ ප්‍ර‍තිරූපක කරුණාවට රැවටුණු භික්ෂූහු තමන්ගෙන් පිහිටක් සොයා එන දුඃඛිතයා පලවා හැර පොහොසතාටත් පොහොසතා ගේ දරුවාටත් කරුණාව දක්වති. කරුණාවට පාත්‍ර‍වූ පොහොසත්හු ද “අනේ අපේ හාමුදුරුවෝ බොහෝ කරුණාවත් කෙනෙකැ”යි පසසති. පහදිති.

ශික්ෂාකාමතා වේශයෙන් වඤ්චක ලෝභය

“ශික්ෂාකාමතා” යනු ශීලය මනා කොට රකිනු කැමති බව ය. සිල්වත්හු යැ යි ප්‍ර‍සිද්ධ තැනැත්තන්හට මහ ජනයා පැහැදී වඩ වඩා පූජා සත්කාර කරනු දක්නා තැනැත්තා ගේ පූජා සත්කාර පිළිබඳව වූ ලෝභය, සමහර විට ඔහුගේ සිත්හි ශික්ෂාකාමතා වේශයෙන් පහළ වේ. එයට රැවටුණු භික්ෂු තෙමේ ශීලය වර්ණනා කරන්නකු හා අන්‍යයන්ට වඩා හොඳින් තමා ශීලය රක්ෂා කරන්නකු බව ලොවට දක්වන්නෙක් ද වන්නේ ය.

අල්පේච්ඡතා වේශයෙන් වඤ්චක ලෝභය

පමණට වඩා ප්‍ර‍ත්‍ය නො පිළිගන්නා වූ ද රැස් නො කරන්නා වූද ස්වභාවය “අල්පේච්ඡතා” නමි. අල්පේච්ඡ භික්ෂූන්ට මහජනයා පැහැදී ප්‍ර‍ශංසා කරති. ඔවුන් ගේ කීර්තිය ව්‍යාප්ත වේ. නො පිළි ගන්නා තැනැත්තාට වඩ වඩා දෙන්නට උත්සාහ කිරීමත් ප්‍ර‍ත්‍යය වුවමනා ඇති තැනැත්තාහට දෙන්නට නොකැමති වීමත් මිනිසුන් කෙරෙහි පවත්නා වූ එක්තරා ගුප්ත ස්වභාවයකි. ඒ ස්වභාවය නිසා බොහෝ ප්‍ර‍ත්‍යය පිළිගැනීමට නොකැමති තැනැත්තා ළඟ ප්‍ර‍ත්‍යය ගොඩ ගැසේ. අල්පේච්ඡතාව නිසා ලැබෙන කීර්ති ප්‍ර‍ශංසාවට හා ලාභයටත් ඇලුම් කරන්නා කෙරෙහි සමහරවිට ඒ ලෝභය අල්පේච්ඡතා වේශයෙන් පහළ වෙයි. එයට රැවටෙන තැනැත්තා “තමා කෙරෙහි ද අල්පේච්ඡතාව ඇති වී ය”යි අල්පේච්ඡයකු සේ කථා කරන්නටත් හැසිරෙන්නටත් වෙයි.

නොයෙක් වෙස්වලින් පහළ වන මේ ක්ලේශයන් ඒ ඒ වෙසින් පහළ වනුයේ පුද්ගල තත්ත්වය අනුව ය. මේ ලෝභය ම පරාර්ථසාධක ක්‍රියා කිරීමෙන් ලාභ ප්‍රයෝජන ලැබිය හැකි තැනැත්තා කෙරෙහි පරාර්ථකාමතා වේශයෙන් පහළ වේ. එසේ ලාභ නො ලැබිය හැකි තත්ත්වයක් ඇති තැනැත්තා කෙරෙහි ඒ ලෝභය පරාර්ථ කාමතා වේශයෙන් නූපදී. කෘතඥතාව දක්වා ලාභ ප්‍රයෝජන ලැබිය හැකි කෙනකු ඇති තැනැත්තා කෙරෙහි ම කෘතඥතා වේශයෙන් පහළ වෙයි. කෘතඥතාව දක්වා ලාභ ලැබීමට කෙනකු නැති තැනැත්තා කෙරෙහි ඒ වේශයෙන් ලෝභය පහළ නො වේ. අන්‍ය වේශයන් ගෙන පහළ වීම ද මෙසේ ම දත යුතු ය.

ලැබූ වස්තුව, ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය, “විචෙය්‍යදානතා, අල්පේච්ඡතා, සන්තුෂ්ටිතා, පරානුද්දයතා” ආදී වේශයන් ගෙන් වඤ්චා කරන්නේය.

විචෙය්‍ය දානතා වේශයෙන් වඤ්චක ලෝභය

සිල්වතුන් ගුණවතුන් තෝරාගෙන ඔවුනට දන් දෙන ස්වභාවය විචෙය්‍යදානතා නමි. තමන් ලබාගෙන තිබෙන වස්තුවෙන් සතයකුදු අඩුවීම ඉවසිය නො හෙන ලෝභියා වෙත ප්‍රතිග්‍රාහකයකු පැමිණි කල්හි සමහර විට ඒ ලෝභය ඔහු ගේ සන්තානයෙහි විචෙය්‍ය දානතා වේශයෙන් පහළ වේ. ඒ ලෝභයේ මෙහෙයීමෙන් ඔහුට මෙසේ සිතෙන්නේය. බුදුන් වහන්සේ විසින් “විචෙය්‍යදානං සුගතප්පසත්ථං” යන ආදීන් විමසා දන් දීම ම වර්ණනා කරන ලදි. “මේ ප්‍ර‍තිග්‍රාහකයා දන්දීමට සුදුසු සිල්වත් ගුණවත් කෙනෙක් ද? දුශ්ශීලයෙක් ද? ශ්‍ර‍මණ වේශයෙන් හැසිරෙන සොරෙක්දැ’යි කවුරු දනිත් ද? නාඳුනන මොහුට මේ දුටු පළමු වතාවේ ම කෙසේ දෙන්නෙම්ද? විමසා සුදුසු නම් පසුව දෙන්නෙමැ”යි සිතා, දීම කල් තබන්නේ ය. ඔහු ගේ දීමත් එයින් ම කෙළවර වන්නේ ය.

අල්පේච්ඡතා වේශයෙන් වඤ්චක ලෝභය

ලෝභය මඳ බව අල්පේච්ඡතා නමි. අනුන්ගෙන් යම් කිසිවක් පිළිගතහොත් නැවත ඒ තැනැත්තාට තමා විසිනුත් සංග්‍ර‍හ කළ යුතුය. ස්වල්පයකුදු වියදම් වීම නො ඉවසන ලෝභියාට එය වැටහෙනුයේ මහත් බරපතළ කරුණක් සැටියටය. එබැවින් සමහර ලෝභීහු අනුන්ගෙන් සංග්‍ර‍හ ලැබීමට බිය වෙති. ඔවුන්ට අනුන් සංග්‍ර‍හයක් කරන්නට තැත් කරන තැන දී ඔවුන් ගේ ඒ ලෝභය අල්පේච්ඡතා වේශය ගනී. එයට රැවටුණු අය “අනුන්ගෙන් කිසිවක් ගැනීම නුසුදුසු ය. ගමන්ට ඇති සැටියට තමන් ගේ දෙයින් යැපීම ම යහපත් ය. අනුන් ගෙන් කිසිවක් නො ගන්නා කල්හි තමා කාහටවත් ණය නැතියෙක් වන්නේ යැ”යි අනුන්ගෙන් කිසිවක් නො පිළිගනිති.

සන්තුෂ්ටිතා වේශවෙන් වඤ්චක ලෝභය

වඩා හොඳ කෑම් බීම් ඇඳුම් පැළඳුම් ආදිය සොයන්නට නො ගොස් ඇති දෙයකින් පහසුවෙන් ලැබිය හැකි දෙයකින් සතුටු වන ස්වභාවය සන්තුෂ්ටිතා නමි. තමන්ට අසු වී තිබෙන දෙයින් මඳකුදු වියදම් කිරීමට නොකැමති ලෝභියාගේ ඒ ලෝභය වියදම් කළ යුතු අවස්ථාව පැමිණි කල්හි සන්තුෂ්ටිතා වේශය ගන්නේ ය. එයින් වඤ්චිත වූවෝ කවර ලෙසකින් වුවත් වියදම් කළ යුතු අවස්ථාව ඉක්මවා ධනය ම ඉතිරි කර තබා දුක සේ සැපයූ ධනයෙන් ප්‍රයෝජන නොගෙන ම මිය යති.

පරානුද්දයතා වේශයෙන් වඤ්චක ලෝභය

අනුන්ට කරුණා කරන ස්වභාවය පරානුද්දයතා නමි. දුගියකු මගියකු යදියකු අවුත් කිසිවක් ඉල්ලා සිටින කල්හි තමන් ගේ වස්තුව අඩු වීම නො ඉවසන තැනැත්තා ගේ ඒ ලෝභය සමහර විට පරානුද්දයතා වේශයෙන් එළඹ සිටින්නේ ය. එයට රැවටෙන ලෝභියා “මොවුනට මෙසේ අනුන්ගෙන් ඉල්ලා කෑම පුරුදු වීම මහත් නපුරක් ය. යමක් දුනහොත් එයින් උනන්දු වී මොවුහු මේ ඉල්ලීම දිගටම කරන්නාහු ය. එයින් මොවුහු වඩා කාලකණ්ණි වන්නාහ. දීම නම් මොවුනට කරන අපරාධයක් ය. නො දීම ම මොවුනට කරන යහපත යැ”යි සිතා කිසිවක් නො දෙන්නේ ය. පරානුද්දයතා වේශයෙන් එන ලෝභයට රැවටී සිටින ඇතැම්හු තම දූ දරුවන්ට පවා හොඳින් ආහාර පාන නො දෙති.

ආත්මසංරක්ෂණතා වේශයෙන් වඤ්චක ලෝභය

තමා ගේ ආත්මය හෙවත් ජීවිතය ආරක්ෂා කරන ස්වභාවය “ආත්මසංරක්ෂණතා” නමි. ජීවිතාරක්ෂාව සඳහාවත් මුදල් වියදම් කරනු නො කැමති තැනැත්තා ගේ ඒ ලෝභය ආත්ම සංරක්ෂණතා වේශය ගන්නේ ය. එයින් වඤ්චිත වූ තැනැත්තේ වැඩි මුදලට ගත යුතු ආහාර පානාදියේ නොයෙක් දොස් දකින්නේ ය. අඩු මුදලට ලැබිය හැකි ආහාර පානාදීන් ගේ බොහෝ ගුණ දක්නේ ය. ඔහු “ගුණ ලැබීමටත් රෝගවලින් වැළකී විසීමටත් හොඳ මේවා යැ”යි අඩු මුදලින් ලැබිය හැකි දෑ පමණක් ගන්නේ ය. වටිනා ආහාර පාන “අගුණය”යි ප්‍ර‍තික්ෂේප කරන්නේ ය.

සතුට ඇති වන දෑ දැකීමෙන් ද, ඇසීමෙන් ද, සිඹීමෙන් ද, ආස්වාදනය කිරීමෙන් ද, කයින් ස්පර්ශ කිරීමෙන් ද, සතුටට හේතු වන වස්තූන් ලැබීමෙන් ද ඇතිවන්නා වූ කායික චෛතසික සුඛය පිළිබඳ වූ ලෝභය සැප විඳීමේ ලෝභයයි. එය නිර්ලෝභතා පුණ්‍යකාමතා සංවිභාගශිලතාදී වේශයන්ගෙන් වඤ්චා කරන්නේ ය.

නිර්ලෝභතා වේශයෙන් වඤ්චක ලෝභය

සැප විඳීමේ ආශාව අධික තැනැත්තා කෙරෙහි ඒ ලෝභය නිර්ලෝභතාවේ හෙවත් අලෝභයේ වේශයෙන් පහළ වේ. එයට රැවටුණු තැනැත්තේ, තමන්ගේ වස්තුව පමණට වියදම් කරමින් ජීවිකාව කරන්නා වූ අන්‍යයන්ට ලෝභීහු යැයි නින්දා කරමින් සපයන සියල්ල ම වියදම් කොට කා බී ඒ වේලාවෙහි සැප විඳ ධනය නො සැපයිය හැකි කාලය, ධනය නො ලැබෙන කාලය පැමිණි කල්හි දුකට පත් වන්නේ ය. එබඳු අය බොහෝ සෙයින් මහලු කාලයේ දී දුකට පත් වන්නාහ.

පුණ්‍යකාමතා වේශයෙන් වඤ්චක ලෝභය

නුදුටු ප්‍රදේශ දැකීම පිළිබඳ වූ ද, නුදුටු වස්තූන් දැකීම පිළිබඳ වූ ද, උත්සව දැකීම පිළිබඳ වූ ද, බොහෝ ස්ත්‍රී පුරුෂයන් දැකීම පිළිබඳ වූ ද, අලඞ්කාර සැරසිලි දැකීම පිළිබඳ වූ ද ආශාව පුණ්‍යකාමතා වේශය ගන්නේ ය. එයට රැවටුණ තැනැත්තේ සමීප විහාරයට, ගමේ විහාරයට අවුරුදු ගණනකට වරක් වත් වන්දනාවට නො යතත් දුර පළාත්වල දුර රටවල වන්දනාවට බොහෝ වියදම් දරා ගෙන යන්නේය. එයින් වනුයේ ඔහුගේ දර්ශන ලෝභය නිවී යෑම ය. දර්ශන පිපාසාව සන්සිඳීම ය. ඒ සන්සිඳීම ගැන හේ “මහා පිනක් කර ගතිමි” යි ප්‍රීති වෙයි.

තව ද, ඒ පුණ්‍ය කාමතා වේශයෙන් පැමිණෙන සැප විඳීමේ ලෝභයට රැවටුණ තැනැත්තේ “පින්කම් යමි” යි පිරිත් කියවීමේ උත්සව බණ කියවීමේ උත්සව දක්නට ද යන්නේ ය. සමහර විට බණ කියවීමේ පිරිත් කියවීමේ උත්සව ද කරවයි. මෙකල වන්දනාවේ යන බොහෝ දෙනකුගේ ම පුණ්‍යකාමතාව කුශලච්ඡන්දය නොව ලෝභය ම බව කිව යුතු ය. බණ පින්කම් පිරිත් පින්කම්වලට යන බොහෝ ස්ත්‍රී පුරුෂයන් ගේ පුණ්‍යකාමතාවත් දර්ශන ලෝභය ම ය.

සංවිභාගශීලතා වේශයෙන් වඤ්චක ලෝභය

තමා ලත් දෙය තමා ම භුක්ති නො විඳ අන්‍යයන් හා බෙදා වළඳන ස්වභාවය සංවිභාග ශීලතාව යි. එය උතුම් ගුණයකි. සමහරුන් කෙරෙහි පිරිස් පිරිවරා ගෙන කා බී ප්‍රීති වීමේ ආශාව සංවිභාග ශීලතා වේශයෙන් පහළ වේ. එයින් වඤ්චිත තැනැත්තේ එසේ නො කරන අන්‍යයන්ට “මසුරෝ යැ” යි නින්දා කරමින් යහළුවන් පිරිවරා ගෙන කා බී ඇවිද සෙල්ලම් කොට ධනය නැති කර ගෙන අන්තිමේ දී කිසි පිහිටක් නැති යහළුවන් නැති දිළින්දෙක් වන්නේ ය.

රාගය

ස්ත්‍රීන් දැකීමය, ඔවුන් ගේ ක්‍රියා දැකීමය, ඔවුන්ගේ හඬ ඇසීමය, ඔවුන් ගේ ගන්ධය ආඝ්‍රාණය කිරීමය, ඔවුන්ගෙන් ලැබෙන රසය වැළඳීමය, ඔවුන්ගේ ශරීර ස්පර්ශය ලැබීමය, ඔවුන් හා සම්භාෂණයෙහි යෙදීමය, තවත් ක්‍ර‍මවලින් ඔවුන් ඇසුරු කිරීමය යන මේවා පිළිබඳ ව පුරුෂ චිත්තයෙහි හටගන්නා වූ සප්‍රීතික ලෝභය ද, පුරුෂ දර්ශනාදිය සම්බන්ධයෙන් ස්ත්‍රී චිත්තයෙහි හටගන්නා වූ සප්‍රීතික ලෝභය ද රාග නම් වේ. මෙය සමහරවිට නිෂ්ප්‍රීතික ද වන්නේ ය. සමහරවිට තවත් පුරුෂයකු සම්බන්ධයෙන් පුරුෂයකුට ද, ස්ත්‍රියක සම්බන්ධයෙන් ස්ත්‍රියකට ද රාගය ඇති වේ. මෙය මෛත්‍රී කරුණා ශ්‍ර‍ද්ධාදි අනේක වේශයන් ගෙන් පහළ වී වඤ්චා කරන ධර්මයකි.

මෛත්‍රී රූපයෙන් වඤ්චක රාගය

තමා විසින් රාග වශයෙන් ඇලුම් කිරීම නුසුදුසු කෙනෙකු යන හැඟීම ඇති කෙනකු සම්බන්ධයෙන් යම් කිසිවකුට රාගය ඇති වුවහොත් ඒ තැනැත්තා ඒ රාගය දුරු කිරීමට උත්සාහ කරයි. දුරු නොවේ නම් වැඩෙනු නො දෙන්නට උත්සාහ කරයි. වැඩුණේ වී නම් ක්‍රියාකාරී වීමට නොදෙන්නට උත්සාහ කරයි. තමාහට නුසුදුසු පරිදි ඇති වූ ඒ රාගයට බියෙන් එය දුරු කර ගැනීමට උත්සාහ කරන්නා වූ තැනැත්තා කෙරෙහි වැඩෙන්නටත් ක්‍රියාකාරීත්වයට පැමිණෙන්නටත් ඉඩ නො ලබන්නා වූ ඒ රාගය පසුව ඒ තැනැත්තා ගේ අදහසට සුදුසු වන සැටියට පුද්ගල තත්ත්වයට සුදුසු වන සැටියට මෛත්‍රී වේශය ගන්නේ ය. මෛත්‍රී වේශයෙන් හෙවත් මිත්‍ර‍ත්වයේ ආකාරයෙන් ඒ තැනැත්තා කෙරෙහි ඒ රාගය පහළ වන්නේ ය. එසේ පහළ වූ කල්හි ඔහුට එය රාගය ම බව නො දැනෙන්නේ ය. එයට රැවටුණු වූ හෙතෙමේ “මෛත්‍රිය හෙවත් මිත්‍ර‍ත්වය සැම දෙනා සමග ම පැවැත්වීමට සුදුසු දෙයකැ” යි මෛත්‍රී වේශයෙන් පැමිණි රාගය පිළිගන්නේ ය. එයට වැඩෙන්නට අවකාශ දෙන්නේ ය. එසේ අවකාශ ලැබූ රාගය මෛත්‍රී වේශයෙන් ක්‍ර‍මයෙන් වැඩී පසුව රාගයේ සැටියට ම සිට ක්‍රියාකාරිත්වයට ද පැමිණෙන්නේ ය. මෙබඳු කරුණු වලින් පරෙස්සම් වීම ඉතා දුෂ්කර ය. නුවණැතියෝ ද මේවාට මුළා වී අන්තයේ දී වරදට පැමිණෙති. මෛත්‍රී රූපය ගන්නා රාගය බොහෝ සෙයින් පැවිද්දන් කෙරෙහි ඇති වේ. එයට වසඟ වී අන්තිමේ දී ඔවුහු ශ්‍ර‍මණ ධර්මයෙන් ද පිරිහෙති.

කරුණා වේශයෙන් වඤ්චක රාගය

පොහොසතුන්ට දුප්පත් ස්ත්‍රීන් පිළිබඳ ව ඇති වන රාගය සමහරවිට කරුණා රූපයෙන් පහළ වේ. එයට රැවටුන තැනැත්තේ අනුන්ගේ අමාරුවට පිහිට වීමේ ආකාරයෙන් ඒ ස්ත්‍රීන්ට සංග්‍ර‍හ කරන්නේ ය. ඔවුන් හා ආශ්‍ර‍යට ද යන්නේ ය. දුම්රිය බස්රිය ආදියේ ගමන් කරන අවස්ථාවලදී බොහෝ පුරුෂයන්ට කරුණා රූපයෙන් රාගය ඇති වේ. දුබල රෝගියකු මහල්ලකු මැහැල්ලක පැමිණි කල්හි ඔවුන්ට විශේෂයෙන් කරුණා කළ යුතු වුව ද එබඳු අවස්ථාවල දී ඒ පැත්තවත් නො බලන සමහරු, හොඳින් හැඳ පැළඳ ගත් තරුණ කාන්තාවක පැමිණෙනු දුටහොත් වහා නැගිට ඇයට තමාගේ අසුන දෙති. අසුන් දීමට එකවර දෙතුන් දෙනා නැගිටිනු සමහර විට දක්නා ලැබේ. ඔවුන් මෙසේ කරනුයේ ඔවුන් තුළ කරුණා රූපයෙන් පහළ වූ රාගයෙනි. රෝගාතුර වූ ස්ත්‍රීන් දක්නා කල්හි ද සමහරුන්ට කරුණා රූපයෙන් රාගය ඇති වේ. එයට රැවටුණාහු තමන් මේ කරනුයේ කුමක් ද කියා නො දැන ම කරුණා කිරීමේ ආකාරයෙන් ඒ ස්ත්‍රීන්ට උපකාර කරන්නාහු ය.

ශ්‍ර‍ද්ධා වේශයෙන් වඤ්චක රාගය

ශෝභන රූපය හා මිහිරි කට හඬ ද තරුණ බව ද ඇත්තා වූ භික්ෂූන් දක්නා ඇතැම් කාන්තාවන් කෙරෙහි ශ්‍ර‍ද්ධා වේශයෙන් (පැහැදීමේ ආකාරයෙන්) රාගය පහළ වේ. භික්ෂුව සම්බන්ධයෙන් තමන් ගේ සිත්හි පහළ වී තිබෙන දෙය ශ්‍රද්ධාව නොව අනෙකක් බව ඒ කාන්තාවෝ නො දනිති. එයින් මෙහෙයවන ලද ඔවුහු ඉන් පෙර භික්ෂුවකට කිසි සැලකිල්ලක් නො කළාහු ද “බොහොම හොඳ හාමුදුරුවෝ යැ” යි පසසමින් ඒ භික්ෂුව කරා නිතර එළඹෙති. සැලකිලි ද කරති. සමහර විට ඒ භික්ෂුව පසසමින් අන්‍ය භික්ෂූන්ට නින්දා කරන්නට ද බසිති. ඔවුන් ගේ මේ ශ්‍ර‍ද්ධාව කුමක් ද යන බව ඔවුන් තබා ඔවුන් ගේ හිමියෝ ද නෑයෝ ද නො දනිති. කාරණය තේරුම් ගැනීමට තරම් නුවණැතියකු මෙය දැන ගෙන කිව හොත් ඔවුහු ඒ තැනැත්තාට ද විරුද්ධ වන්නාහ. ඊර්ෂ්‍යා කාරයෙකැ යි දෝෂාරෝපණය කරන්නාහ. ක්ලේශ වඤ්චනයට මනුෂ්‍යයෝ කොතරම් තදින් හසු වෙද්ද යන බව මෙබඳු කරුණු වලින් තේරුම් ගත හැකි ය.

පුණ්‍යකාමතා වේශයෙන් වඤ්චක රාගය

පුණ්‍යකාමතා යනු පින් කරනු කැමති බවය. ශ්‍ර‍ද්ධා රූපයෙන් උපන් රාගය ම පසුව පුණ්‍යකාමතා රූපය ගන්නේ ය. එයින් මෙහෙයනු ලැබූ ස්ත්‍රීහු “පින් කරමි” යි තමන් ඇලුම් කරන භික්ෂුව නිසා භික්ෂූන්ට දන් දෙති. භික්ෂූන් වෙසෙන විහාරයන්ට ගොස් පින්කම් කරති. මේවා පින් වේ ද නො වේ ද යන බව නිශ්චය කිරීම ඉතා දුෂ්කර ය. දර්ශන රාගය ද පුණ්‍යකාමතා වේශය ගන්නේ ය. ඇතැම් තරුණ තරුණියන් පින් කිරීමට යයි පිරිත් පින්කම් බණ පින්කම් යන්නේත් වන්දනා ගමන් යන්නේත් පුණ්‍ය කාමතා වේශයෙන් පැමිණි රාගයා ගේ මෙහෙයීමෙනි.

කෘතඥතා වේශයෙන් වඤ්චක රාගය

කෘතඥතා යනු කෙළෙහි ගුණ සැලකීම ය. ස්ත්‍රියක අතින් උපකාරයක් ලැබූ පුරුෂයා කෙරෙහි ද පුරුෂයකුගෙන් උපකාරයක් ලත් ස්ත්‍රිය කෙරෙහි ද සමහර විට කෘතඥතා වේශයෙන් රාගය පහළ වේ. කෘතඥතා ප්‍ර‍තිරූපක රාගයට රැවටුණ පුරුෂ තෙමේ තේ කෝප්පයකින් මුත් තමාට සංග්‍ර‍හ කළ ස්ත්‍රිය ගේ බොහෝ ගුණ දකී. “ගුණ අමතක කිරීම නො වටනේ ය.” යි ඇය ගැන සැලකිලි කරන්නට වෙයි. ස්ත්‍රීහු ද එසේම ය. සමහරවිට තමන්ට උපකාර කරන කාන්තාවන් සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන්ට ද කෘතඥතා ප්‍රතිරූපය ඇතිවේ.

සමානාත්මතා වේශයෙන් වඤ්චක රාගය

අන්‍යයන් ද තමා හා සම තත්ත්වයෙහි තබා සිතන ස්වභාවය සමානාත්මතා නමි. එය උතුම් ගුණයකි. බොහෝ සෙයින් පොහොසත්තු දුප්පතුන් ඇසුරු කිරීම තමාට නුසුදුසු දෙයකැයි සලකති. එහෙත් දුප්පත් කාන්තාවන් කෙරෙහි රාග වශයෙන් ඇල්ම පොහොසතුන්ට ද ඇති නො වන්නක් නොවේ. පොහොසත් තරුණයකුට දුප්පත් පවුල තරුණියක ගැන ඇල්ම ඇති වූ කල්හි, ඔහු තුළ පවත්නා වූ දුප්පතුන් ඇසුරු කිරීම තමාට නුසුදුසු ය යන හැඟීම ඇය හා සම්බන්ධකම් පැවැත්වීමට බාධාවක් වෙයි. එකල්හි ඒ රාගය සමානාත්මතා වේශය ගන්නේ ය. එයට රැවටුණු තැනැත්තේ සමානාත්මතා නමැති ගුණය ඉදිරිපත් කර ගෙන රාගයෙන් දුප්පතුන් ඇසුරු කරන්නට පටන් ගනී.

ප්‍ර‍තිසංස්කාරකාමතා වේශයෙන් වඤ්චක රාගය

තමා කරා පැමිණෙන්නවුන්ට ප්‍රිය වචනයෙන් කථා කොට අවස්ථාවට සුදුසු හැටියට සංග්‍ර‍හ කරන ස්වභාවය ප්‍ර‍තිසංස්කාරකාමතා නමි. මෛථුනාධ්‍යාශමය රාගය යැයි ඇතැමෙක් වරදවා සිතති. දැකීම, ප්‍රිය සම්භාෂණය ආදිය පිළිබඳ වූ ආශාවත් රාගය ම ය. දර්ශනයෙන් හා කථා කිරීමෙන් ද ආස්වාදය ඇතිවන කෙනකු තමන් වෙත පැමිණි කල්හි ඒ ආස්වාදය විඳිනු කැමති බව වූ රාගය පටිසන්ථාර කාමතා වේශයෙන් පහළ වේ. එයින් වඤ්චිත වූ තැනැත්තේ තමා වෙත පැමිණි තමාගේ මන පිනවන ආගන්තුකයා සමීපයට කැඳවා ඔහු හා ප්‍රිය සම්භාෂණයෙහි යෙදෙන්නේ ය. ආදරයෙන් ඔහුට සංග්‍ර‍හ කරන්නේ ය. ඔහු තමා කෙරෙන් ඉවත් ව යන්නට උත්සාහ කළත් ඉක්මණින් එය සිදු කර ගන්නට ඉඩ නො දෙන්නේ ය. හැකි තාක් කාලයක් ආගන්තුකයා නවත්වා ගන්නට උත්සාහ කරන්නේ ය. ඔහු ආගන්තුකයා ගේ පැමිණි කාරණය ද ඉතා ඕනෑ කමින් ඉටුකර දෙන්නේ ය.

පරාභිවෘද්ධිකාමතා වේශයෙන් වඤ්චක රාගය

අනුන් ගේ දියුණුවට කැමති බව පරාභිවෘද්ධිකාමතා නමි. සමහර විට රාගය පරාභිවෘද්ධි කාමතා වේශය ගන්නේ ය. එයින් වඤ්චිත වූ තැනැත්තේ ස්ත්‍රීන්හට ඉගෙනීමට උපකාර කිරීම, රක්ෂාවල් සොයා දීම යන ආදිය අනුන් දියුණු කිරීමේ කැමැත්තෙන් කරන දෙයක් සැටියට කරන්නේ ය. ස්ත්‍රීන්ට පමණක් නොව සමහර ළමයින්ට ද පරාභිවෘද්ධි කාමතා ප්‍ර‍තිරූපක රාගයෙන් සංග්‍ර‍හ කරති. රාගය බොහෝ වෙස් ගන්නා ධර්මයකි. ප්‍රිය වාදිතා, ධර්ම දේශනා කාමතා, ධර්ම ශ්‍ර‍වණ කාමතා, දාතු කාමතා, පරීක්ෂණතාදී රාගය ගන්නා වූ තවත් බොහෝ වේශයෝ ඇත්තාහ.

ද්වේෂය

රෞද්‍ර‍ ස්වභාවය ගන්නා ද්වේෂය, භය ස්වභාවය ගන්නා ද්වේෂය, ප්‍ර‍තිකුල (පිළිකුල්) ස්වභාවය ගන්නා ද්වේෂය, ශෝක ස්වභාවය ගන්නා ද්වේෂය යි ද්වේෂය සතර ආකාර වේ. එය ද අනේක වේශයෙන් පහළව සත්ත්වයන් රවටන්නේ ය.

ක්ෂාන්ති වේශයෙන් වඤ්චක ද්වේෂය

ක්ෂාන්ති යනු ඉවසීම ය. තවත් ක්‍ර‍මයකින් කියතහොත් අනුනට ද්වේෂ නො කිරීම ය. එය ද්වේෂයට ප්‍ර‍තිපක්ෂ ස්වභාවයකි. එහෙත් සමහර විට ද්වේෂය ම ක්ෂාන්තියේ ආකාරයෙන් සිත්හි පහළ වන්නේ ය. එය බොහෝ සෙයින් සිදු වන්නේ ගරු කළ යුතු කෙනකු විසින් තමා කරන දෙයක් වළක්වන්නට උත්සාහ කරන අවස්ථාවලදී ය. මා පිය ගුරුවරු ආදී ගරු කළ යුත්තන් විසින් තමා කරන වරදක් නවත්වන්නට තැත් කරන කල්හි, ඔවුනට කීකරු නො වී කරන වරද නො නවත්වා ම කර ගෙන යන්නා වූ තැනැත්තාහට මා පිය ආදීන්ගෙන් ගැරහුම් ලැබෙන කල්හි දඬුවම් ලැබෙන කල්හි මා පිය ආදීන් සම්බන්ධයෙන් පහළ වන්නා වූ ද්වේෂය ක්ෂාන්තියේ ආකාරය ගන්නේ ය. එයින් වඤ්චිත වූ තැනැත්තේ “මා පිය ආදීන් කුමක් කීවත් කුමක් කළත් සියල්ල ඉවසමින්, මා කරන දෙය කරමි” යි ඒ වරද නො නවත්වා ම කරන්නේ ය.

අවිහිංසා වේශයෙන් වඤ්චක ද්වේෂය

කරුණාව හා කරුණා පූර්වභාවය අවිහිංසා නමි. එය ද්වේෂයට විරුද්ධ ස්වභාවයකි. බලවතකු විසින් අයුතු අන්දමින් දුර්වලයකු පෙළනු දක්නා කල්හි සමහරවිට බලවතාට විරුද්ධව අවිහිංසා රූපයෙන් ද්වේෂය පහළ වේ. සර්පයකු විසින් මැඩියකු ගිලින කල්හි මැඩියා ගේ පක්ෂය ගෙන සර්පයාට පහර දෙනුයේ අවිහිංසා ප්‍ර‍තිරූපක ද්වේෂයෙනි. කාහට වුවත් පීඩාවක් කිරීම හිංසාව ම මිස අවිහිංසාව නොවේ. පක්ෂයක් ගෙන තවත් පක්ෂයකට පීඩා කරන ස්වභාවය ඇතැම් අවිහිංසාවාදීන් කෙරෙහි දක්නා ලැබෙන ස්වභාවයෙකි. ඔවුහු සතුන්ගේ පක්ෂය ගෙන මරන්නා වූ ද මස් කන්නා වූ ද මිනිසුන්ට නොයෙක් අයුරින් නින්දා කරමින් හිංසාවක් ම කරති. එයත් පක්ෂයකට කරන හිංසාවක් බව ඔවුනට නො වැටහේ. ඔවුන්ගේ අදහස එය ඔවුන් ගේ අවිහිංසාව ම ය කියා ය. සමහරු අති දුඃඛිත සත්ත්වයන් දුටු කල්හි දුකින් මුදවන්නටය කියා ඒ සතුන් මරා දමති. එද කරුණා ප්‍ර‍තිරූපක ද්වේෂයෙන් කරන වැඩෙකි. ද්වේෂයෙන් තොර ව ප්‍රාණ ඝාතය සිදු කළ නො හැකිය. අන්‍යයන්ට ගර්හා කරනු කැමති සමහරුන් කෙරෙහි ද කරුණා රූපයෙන් ද්වේෂය පහළ වේ. ඔවුහු කරුණාව නිසා කරන වැඩක් ලෙස අන්‍යයන්ට ගර්හා කරති.

නෛෂ්කාම්‍ය කාමතා වේශයෙන් වඤ්චක ද්වේෂය

බලාපොරොත්තු කඩ වූ ද, ප්‍රිය පුද්ගලයන් නැසුනා වූ ද, වස්තු හඞ්ගත්වයට පැමිණියා වූ ද සමහරුන් කෙරෙහි ඒ කරුණු පිළිබඳ වූ ද්වේෂය සමහර විට නෛෂ්කාම්‍ය කාමතා වේශයෙන් පහළ වේ. එයින් වඤ්චිත වූ ඇතැම් කාන්තාවෝ හිස මුඩු කොට දස සිල් සමාදන් වෙති. ඇතැම්හු ගිහි ගෙය හැර පැවිදි වන්නට සිතති. සමහර පැවිද්දෝ ද විහාරාරාමයන් හැරදමා අරණ්‍ය ගත වෙති.

දානකාමතා වේශයෙන් වඤ්චක ද්වේෂය

ආදරයෙන් පෝෂණය කළ තමන්ගේ උරුමක්කාරයන් වූ දරුවන් නැසුණු ඇතැමුන්ගේ සිත්හි ද්වේෂය දානකාමතා වේශයෙන් පහළ වේ. ඔවුහු තමන්ගේ ධනය දෙස බලා “දැන් මේවා කාට දෙන්නද? දෙන්නට සිටි අය නැති වුණා නොවේද? දැන් මට මේවා රැස් කර ගෙන තිබීමෙන් වැඩක් නැත. මේවා පිනට වත් දීලා දමන්නට ඕනෑය” යි සිතා සමහර විට දන් දෙති. අකුශලය කුශලයටත් ප්‍ර‍ත්‍ය වන බැවින් ද්වේෂය හේතුකොට දෙන දානය වුවත් දෙන අවස්ථාවේ දී ද්වේෂයෙන් තොර ව කුශල චිත්තයෙන් ඒ දීම කළ හොත් ඔවුනට ඒ දීමෙන් වැඩ සිදු වේ. දෙන අවස්ථාවේදීත් ද්වේෂ සහගත සිතින් ම දුනහොත් ඒ දීමෙන් දායකයාට වන වැඩෙක් නැත.

දුශ්ශිලපරිවජ්ජනතා වේශයෙන් වඤ්චක ද්වේෂය

පක්ෂයක් දුශ්ශීලයන් වශයෙන් ගෙන ඔවුනට ද්වේෂ කරන ගර්හා කරන ඇතැමුන් කෙරෙහි ඒ ද්වේෂය දුශ්ශිල පරිවජ්ජනතා වේශය ගන්නේය. එයින් වඤ්චිත වූ ඔවුහු තමන් දුශ්ශීලයන් වශයෙන් සලකන භික්ෂූන් වසන විහාරයන්ට නො යති. ඔවුන්ගෙන් දහම් නො අසති. දුටු තැන ඉවත බලති. ගර්හා කරති. දුශ්ශීලයන් ඇසුරු නො කිරීම නම් යහපත් ය. එහෙත් කවරකුට වුව ද ද්වේෂ කිරීම පාපයකි. දුශ්ශීලයන් ඇසුරු කිරීමට බිය වන එහි ආදීනවය කියන ඒ පින්වත්හු ශ්‍ර‍මණ දුශ්ශීලයන්ට මුත් ගිහි දුශ්ශීලයන් හට බිය නො වෙති.

අසත්පුරුෂපරිවර්ජනතා වේශයෙන් වඤ්චක ද්වේෂය

අසත් පුරුෂයන් සේවනය කිරීම නොයෙක් විපත් වලට හේතුවකි. ඔවුන්ගෙන් වෙන්ම විසීම යහපති. සමහර කෙනකුට සමහර කෙනකුන් සම්බන්ධයෙන් හටගන්නා ද්වේෂය ද අසත්පුරුෂ පරිවජ්ජනතා රූපයෙන් පහළ වේ. එයින් වඤ්චිත වූ තැනැත්තේ තමා නො සතුටු පුද්ගලයන් දුටු කල අසත්පුරුෂයන් ගෙන් දුරුවීමේ ආකාරයෙන් ද්වේෂයෙන් ඉවත බලයි. නැති තැන ඔහුට ගර්හා ද කරයි.

අල්පේච්ඡතා වේශයෙන් වඤ්චක ද්වේෂය

තමාට උපකාර කරන කෙනකු සම්බන්ධයෙන් හටගන්නා ද්වේෂය සමහර විට අල්පේච්ඡතා වේශයෙන් පහළ වන්නේ ය. එයින් වඤ්චිත තැනැත්තේ “මා හට අනුන්ගෙන් කිසිවක් වුවමනා නැත. මට පුළුවන් සැටියකින් මගේ වැඩ කර ගනිමි” යි අනුන් ගෙන් ලැබෙන උපකාර ප්‍ර‍තික්ෂේප කරන්නේ ය. තමාට කරන උපකාරය නොපිළිගනුයේ උපකාර කරන තැනැත්තා කෙරෙහි ක්‍රෝධයකින් දැයි ඔවුන්ගෙන් ඇසුව හොත් ඔවුන් කියනුයේ මාගේ ක්‍රෝධයක් නම් නැත. නමුත් මට කාගේවත් කිසිවක් ඕනෑ නැතැය කියා ය. එසේ කියනුයේ අල්පේච්ඡතා රූපයෙන් සිටින ද්වේෂය ඔවුනට ද්වේෂය සැටියට නො පෙනෙන බැවිනි. මා පියන්ගේ උපකාරයෙන් කටයුතු කරන්නා වූ දරුවන් කෙරෙහි ද ගුරුවරයන්ගෙන් ආධාර ලබන ශිෂ්‍යයන් කෙරෙහි ද ගිහියන්ගෙන් ආධාර ලබන පැවිද්දන් කෙරෙහි ද මේ අල්පේච්ඡතා ප්‍ර‍තිරූපක ද්වේෂය බොහෝ සෙයින් ඇති වේ.

මිතභාණිතා වේශයෙන් වඤ්චක ද්වේෂය

නිෂ්ඵල කථාවලින් තොර ව වුවමනා පමණට කථා කරන ස්වභාවය මිතභාණිතා නමි. අප්‍රිය පුද්ගලයන් දුටු කල්හි සමහර විට ඔවුන් පිළිබඳ ද්වේෂය මිතභාණිතා වේශයෙන් පහළ වන්නේ ය. එයින් වඤ්චිත වූ තැනැත්තේ අන්‍යයා හා කථා කළ යුතු ප්‍ර‍මාණයට ද කථා නො කරන්නේ ය. තද බල අමාරුවලට පත් වී පිහිට සොයා බොහෝ දෙනා ළඟට ගොස් කවරකු ගෙන් වත් පිහිටක් නොලැබූ සමහරුන්ට මුළු ලෝකය ගැන ම ද්වේෂයක් ඇති වේ. සමහර විට එය ද මිතභාණිතා වේශය ගන්නේ ය. එයින් වඤ්චිත තැනැත්තේ සැම දෙනා ම සමග කථාවෙන් වළකින්නේ ය.

පාපගර්හිතා වේශයෙන් වඤ්චක ද්වේෂය

පුද්ගලයකුට ගර්හා කිරීම නුසුදුසු ය. එහෙත් පාප ක්‍රියාවන්හි දෝසය දැක්විය යුතු ය. එයට පාප ගර්හාව යැ යි කියනු ලැබේ. පුද්ගලයකුට ගර්හා කිරීමත් පාපයක් බැවින් පවින් වැළකී විසීමට කැමැත්තෝ පුද්ගල ගර්හාව නො කරති. පුද්ගල ගර්හාව වරදක් බව පිළිගන්නා ඇතැමුන් කෙරෙහි අන්‍යයන්ට ගර්හා කරනු කැමති බව වූ ද්වේෂය පාප ගර්හිතා වේශයෙන් පහළ වන්නේ ය. එයින් වඤ්චිත වූවෝ පාපයට ගර්හා කිරීමේ ආකාරයෙන් පුද්ගලයන්ට ගර්හා කරන්නාහුය.

අපචිතිකාමතා වේශයෙන් වඤ්චක ද්වේෂය

ගරු කළ යුත්තන්ට ගරු කරනු කැමති බව අපචිතිකාමතා නමි. චණ්ඩ පරුෂ මා පියන් ගුරුවරයන් ස්වාමිවරයන් යටතේ සිටින තැනැත්තන් කෙරෙහි ඒ මා පියාදීන් පිළිබඳ භය ස්වභාවය වූ ද්වේෂය සමහර විට අපචිතිකාමතා වේශයෙන් පහළ වේ. එයින් මෙහෙයනු ලැබුවෝ ගුණ සැලකීමෙන් නොව බියෙන් ඔවුනට ගරු බුහුමන් කරති. කීකරු වෙති. ද්වේෂ සහගත සිතින් කරන මේ අපචායනය, අපචායන කුශලයට අයත් නොවේ.

ප්‍ර‍තිකූල සංඥා වේෂයෙන් වඤ්චක ද්වේෂය

ශරීරයෙහි රාගයට හේතු වන සෞන්දර්යයක් ද ඇත්තේ ය. ඥානයට විෂය වන ප්‍ර‍තිකූලත්වයක් ද ඇත්තේය. ප්‍ර‍තිකූලත්වය හැර සෞන්දර්යය පමණක් ගන්නා තැනැත්තා කෙරෙහි ශරීරය පිළිබඳ රාගය උපදී. ඒ රාගය තුනීකළ හැකි වනුයේ දුරු කළ හැකි වනුයේ ප්‍ර‍තිකූලත්වය බැලීමෙනි. එබැවින් යෝගාවචරයෝ ද සිල් රක්නෝ ද රාගය මඩිනු පිණිස ශරීරයේ ප්‍ර‍තිකූලත්වය දක්නා ඥානය උපදවති. එයට ප්‍ර‍තිකූල සංඥාව යයි කියනු ලැබේ. ප්‍ර‍තිකූලසංඥාව ඇති කර ගත් තැනැත්තන්හට සමහර විට ද්වේෂයක් ප්‍ර‍තිකූල සංඥා වේශයෙන් පහළ වේ. එයින් වඤ්චිත තැනැත්තේ තමාගේ විරුද්ධ අය දෙස ප්‍ර‍තිකූලත්වයෙන් බලයි.

අනිත්‍ය සංඥාවෙන් වඤ්චක ද්වේෂය

සංස්කාරයන්ගේ අනිත්‍ය බව දක්නා ඥානය අනිත්‍ය සංඥා නමි. අනිත්‍ය සංඥාව වැඩීම හෙවත් සංස්කාරයන් ගේ අනිත්‍ය බව නැවත නැවත මෙනෙහි කිරීම භාවනාමය කුශලය ය. ඥාති ව්‍යසනාදියෙන් පීඩිත පුද්ගලයන් කෙරෙහි සමහරවිට ඒ ව්‍යසනය පිළිබඳ වූ ද්වේෂය අනිත්‍ය සංඥා වේශයෙන් පහළ වේ. එයින් වඤ්චිත වූයේ අනිත්‍යතාව මෙනෙහි කිරීමේ ආකාරයෙන් සිදු වූ දේ පිළිබඳ ව ශෝක කරන්නේ ය. එය ද්වේෂය ම වැඩීමකි.

ඊර්ෂ්‍යාව

අනුන් විඳින සැපයට, අනුන් ලබන ලාභයට, ගෞරවයට, කීර්තියට ප්‍ර‍ශංසාවට, තනතුරට නො කැමති වන ස්වභාවය, ඒවා නො ඉවසන ස්වභාවය ඊර්ෂ්‍යාවයි. එය ද සත්ත්වයන් ගේ සිත් හි නොයෙක් වෙස්වලින් පහළ වේ.

පරාර්ථකාමතා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාව

පරාර්ථකාමතාව නම් අනුනට යහපතක් කරනු කැමති බවය. ඊර්ෂ්‍යාව නම් එයට විරුද්ධ ස්වභාවයකි. එහෙත් සමහර විට එය පරාර්ථ කාමතාකාරය ගන්නේ ය.

කෙනකුට යම් කිසි තනතුරක් ලැබෙන්නට යන කල්හි එයට නො කැමති තැනැත්තා කෙරෙහි ඒ ඊර්ෂ්‍යාව සමහර විට පරාර්ථකාමතා වේශයෙන් පහළ වේ. එයින් වඤ්චිත වූ තැනැත්තේ “මේ තනතුර ලදහොත් මොහු අල්ලස් ගැනීම් ආදියෙන් ජනයා පෙළන්නට වෙයි. එයින් මහ ජනයාට වන්නේ විපතක් ය. මොහුට මේ තනතුර ලැබීම වළක්වා ජනයා ආරක්ෂා කළයුතු යැ” යි සිතා තනතුර ලැබෙන්නට යන තැනැත්තා හට බාධා කරන්නට වන්නේ ය. එය වළක්වන්නට උත්සාහ කරන්නේ ය. මෙසේ කරන්නේ ඒ තැනැත්තාට තමා එසේ කරනුයේ ඊර්ෂ්‍යාව නිසා බව නො වැටහෙන්නේ ය. ඔහුට තමා ඒ ක්‍රියාවට අනුකූල වන අන්‍යයන්ට ද එය ඊර්ෂ්‍යාව නිසා කරන්නක් බව නො වැටහේ.

පරාර්ථකාමී යම් කිසි සත්පුරුෂයකු විසින් දුගියකුට උපකාරයක් කරනු දක්නා කල්හි දෙන තැනැත්තා හට ලැබෙන කීර්තිය ප්‍ර‍ශංසාව නො ඉවසිය හැකි තැනැත්තා කෙරෙහි ද සමහර විට ඊර්ෂ්‍යාව පරාර්ථකාමතා රූපයෙන් පහළ වේ. එයට රැවටුණ ඊර්ෂ්‍යාකරයා පරාර්ථකාමියාගේ දීම සැහැල්ලු කොට හෝ ලොවට කරන අනර්ථයක් වශයෙන් හෝ දක්වන්නේ ය. “එන එන මිනිසුන්ට මෙසේ නිකම් ම මුදල් දුනහොත් රටේ අලසයන් යාචකයන් බෝවන්නේ නො වේදැ” යි කියමින් දෙන තැනැත්තාට නින්දා හෝ කරන්නේ ය. නො දෙන සේ අනුශාසනා හෝ කරන්නේ ය.

කෙනකු අනුන්ගෙන් දෙයක් ලෙහෙසියෙන් ම පිනට ලබා නම් සමහරුන්ට එය නො ඉවසිය හැකිය. ඔවුන්ගේ ඒ ඊර්ෂ්‍යාව ද සමහර විට පරාර්ථකාමතා වේශය ගන්නේ ය. එයින් වඤ්චිත වූයේ එසේ අනුන්ගෙන් දෙයක් නිකම්ම ලබා ගැනීමට පුරුදු වීමේ දෝසය කියා එය වළක්වන්නට තැත් කරන්නේ ය. එක් ධනවතෙක් මෝටර් රිය වලින් භික්ෂූන් වැඩම කරවා මහ දනක් දිණ. එය නො ඉවසිය හැකි වූවකු කෙරෙහි පරාර්ථකාමතා වේශයෙන් ඊර්ෂ්‍යාව පහළ විය. එයින් වඤ්චිත වූ ඔහු භික්ෂූන් වහන්සේ මෝටර් රියවලින් වැඩම කරවීම රටට පුරුදු වුවහොත් දුප්පතුන්ට පින්කමක් කර ගැනීමට අපහසු වන බව කියා දායකයාටත් භික්ෂූන්ටත් නින්දා කෙළේ ය. මෙසේ නොයෙක් තැන දී මේ ඊර්ෂ්‍යාව ඒ ඒ පුද්ගලයාට ඊර්ෂ්‍යාව බව නො දැනෙන සේ පරාර්ථකාමතා වේශයෙන් පහළ වන්නේ ය.

පරීක්ෂණතා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාව

යමක් රටේ කියන පමණින් ම, අනුන් කී පමණින් ම නො පිළිගෙන විමසා පිළිගැනීම නුවණැතියන්ගේ ස්වභාවයකි. නො විමසා පිළිගැනීම මෝඩයන්ගේ ස්වභාවයකි. සමහර විට ඊර්ෂ්‍යාව ද පරීක්ෂණතා වේශය ගන්නේ ය. කෙනකු විසින් ගුණවතකුගේ ගුණය කී කල්හි අනුන්ගේ ගුණවත් බව නො ඉවසන්නහු ගේ ඊර්ෂ්‍යාව සමහර විට ඔහු කෙරෙහි පරීක්ෂණතා වේශයෙන් පහළ වන්නේ ය. එයින් වඤ්චිත වූ හෙතෙම ගුණවතා ගේ ගුණය නො පිළිගෙන පරීක්ෂණයට තබා ගන්නේ ය. අනුන්ගේ ගුණ දක්නට නො කැමති වූ නුගුණ දක්නට කැමති තැනැත්තාහට කෙනකුගේ කිනම් ගුණයක් වුවත් අගුණයක් කොට ගත හැකිය. මහත් ගුණය සුළු කොට ගත හැකිය. පරීක්ෂණතා වේශයෙන් පැමිණි ඊර්ෂ්‍යාවෙන් විමසන්නා වූ තැනැත්තාහට අනුන්ගේ ගුණය අගුණයක් වශයෙන් ලෙහෙසියෙන් ම පෙනෙන්නේ ය. සැක කළ යුත්තක් වශයෙන් හෝ සුළු දෙයක් වශයෙන් හෝ පෙනෙන්නේ ය. හෙතම ඒවා දක්වා ගුණවතුන් ගේ ගුණ අවලංගු කරන්නේ ය.

පුණ්‍යකාමතා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාව

පුණ්‍ය කර්මයක් නිසා කෙනකු කීර්තිමත් වූ කල්හි එය නො ඉවසන්නහු ගේ ඊර්ෂ්‍යාව සමහර විට පුණ්‍යකාමතා වේශය ගන්නේ ය. එයින් වඤ්චිත වූයේ පළමු කීර්තිමත් බවට පත් වූවහු කළ පින්කම පරදවන පින්කමක් කරන්නට සිතන්නේ ය. අනෙකකු ලවා කරවන්නට හෝ උත්සාහ කරන්නේ ය.

ප්‍ර‍තිකූලසංඥා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාව

අනෙකකුගේ රූප සෞන්දර්යය නො ඉවසන තැනැත්තා ගේ ඊර්ෂ්‍යාව සමහර විට ප්‍ර‍තිකූල සංඥා වේශය ගන්නේ ය. එයට රැවටුණ තැනැත්තේ “මොහු ගේ මේ ශෝභාව පිට පැත්තේ පමණක් ඇති දෙයකි. ඇතුළත ඇත්තේ සෙම් සොටු කෙළ ඩහදිය මලමුත්‍රාදී අපවිත්‍ර‍ ද්‍ර‍ව්‍ය සමූහයක් ය. මේ කුණු ගොඩේ ඇති පිට ඔපයෙන් කවර ඵලයක් ද? වටිනා ඇඳුම් පැළඳුම් වලින් කොපමණ සැරසුවත් සරසන්නේ කුණු ගොඩක්ම නොවේදැ යි සිතා සැනසෙන්නේ ය. අන්‍යයන්ට ද එසේ ම කියා රූප ශෝභාව ඇත්තහු ගේ වටිනාකම නැති කරන්නට තැත් කරන්නේ ය.”

අනිත්‍යසංඥා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාව

බොහෝ සැප සම්පත් ඇතියවුන් පිළිබඳ ඊර්ෂ්‍යාව සමහර විට අනිත්‍ය සංඥා වේශය ගන්නේ ය. ඒ අනිත්‍ය සංඥා ප්‍ර‍තිරූපක ඊර්ෂ්‍යාවෙන් මෙහෙයවන ලද තැනැත්තේ “මාලිගා වැනි ගෙවල වටිනා ඇඳුම් පැළඳුම්වලින් සැරසී ප්‍ර‍ණීත ආහාර පානයන් වළඳමින් මොවුන් දැනට විසුවත් මොවුනට මෙසේ සැප විඳින්නට ලැබෙනුයේ මඳ කලක්ම ය. තව මඳ කලකින් මොවුන්ගේ මේ සම්පත් කෙළවර වන්නේ ය. මළ පසු කවුරුනුත් නිදන්නේ සතර රියන් වළේ ය. ඒ කාලය පැමිණි කල්හි මොවුන්ගේ හා අපගේ ද වෙනසක් නැත” යනාදීන් අනිත්‍යතාව සිතා සැනසෙන්නේ ය.

අන්‍යයන් තමා ගැන ඊර්ෂ්‍යාවෙන් සිටින බවත් කවරකු ගැනවත් තමාගේ ඊර්ෂ්‍යාවක් නැති බවත් තමා සැම දෙනාගේ යහපතට කැමති බවත් සැම දෙන ම වාගේ කියන කරුණකි. ඔවුන් එසේ කියනුයේ තමන් ගේ සිත්හි ඊර්ෂ්‍යාව නැති නිසාවත් ඇති ඊර්ෂ්‍යාවේ නැති බව කියා ලොව රැවටීමත් නොව, තමන් ම රැවටී සිටින නිසා ය. ඒ රැවටීම් වනු යේ නිතර ම ඊර්ෂ්‍යාව අන්‍ය වේශයකින් පහළ වන නිසාය. අන්‍ය වේශයකින් එන ඊර්ෂ්‍යාවට නිතර පුද්ගලයා රැවටෙන්නේ ය. එයින් පරෙස්සම් වීම පහසු නො වේ.

මාත්සර්‍ය්‍යය

තමන් සතු දෑ අන්‍යයන්ට හිමි වනුවට ද, අන්‍යයන්ට එයින් මඳ වූ ද ප්‍රයෝජනවත් වනුවට ද, තමන්ට සේ අන්‍යයන්ටත් පිරිවර රූප ශෝභාව ශරීර ශක්තිය උගත් බව යනාදිය තිබෙනුවට ද, නො කැමති බව වූ විරුද්ධ ස්වභාවය මාත්සර්‍ය්‍ය නමි. මසුරු බව යනු ද එයට නමෙකි. එද නානා වේශයෙන් පහළව සත්ත්වයන් වඤ්චා කරන්නේ ය.

පරීක්ෂාකාරිතා වේශයෙන් වඤ්චක මාත්සර්‍ය්‍යය

යමක් කරන කල්හි පරීක්ෂා කොට කරන ස්වභාවය නුවණැතියන්ගේ සිරිතකි. එය දෙ ලොව වැඩ පිණිස ම පවත්නා කරුණකි. සමහරවිට සමහරුන් ගේ සිත්හි මාත්සර්‍ය්‍යය පරීක්ෂාකාරිතා වේශයෙන් පහළ වන්නේ ය. යම් කිසි පුණ්‍ය කර්මයකට හෝ ගමේ රටේ ජාතියේ දියුණුව පිණිස කරන දෙයකට හෝ සහභාගී වන්නට මසුරාට කථා කළහොත් එකල්හි ඔහු ගේ මාත්සර්‍ය්‍යය පරීක්ෂාකාරිතා වේශය ගන්නේය. එයින් මෙහෙයන ලද මසුරු තැනැත්තේ ම “මේවා කෙරෙන වැඩ ද, කළත් ප්‍රයෝජනයක් වන වැඩදැයි නො විමසා සහභාගී වීම නුසුදුසුය. පරීක්ෂා කර පසුව සුදුස්සක් කරමි” යි සිතා දීමනාව පසුවට තබන්නේ ය. ඔහු ගේ පරීක්ෂණයත් දීමනාවත් එයින් ම කෙළවර වන්නේ ය.

ඥාන වේශයෙන් වඤ්චක මාත්සර්‍ය්‍යය

යම් කිසි කරුණක් සඳහා ධනය වියදම් කළයුතු අවස්ථාවක් පැමිණි කල්හි මසුරා ගේ සිත්හි ඒ මසුරු බව සමහරවිට ඥාන වේශයෙන් පහළ වේ. වියදම් කළ යුතු ඒ දෙය වියදම් නො කළත් සිදුවන හැටියට හෝ ඒ සඳහා කරන වියදම නිෂ්ඵල වන සැටියට හෝ ඔහුට පෙනෙන්නට වන්නේ ය. එසේ පෙනෙනුයේ මාත්සර්‍ය්‍යය ඥාන වේශයෙන් ඔහු ගේ සන්තානයෙහි පහළ වීමෙනි. එය ගැන වඩ වඩා සිතන්නහුට තමන්ට වැටහෙන සැටියටම සත්‍ය බවට නොයෙක් හේතු යුක්ති ද පෙනෙන්ට වන්නේ ය.

අර්ථසංරක්ෂණතා වේශයෙන් වඤ්චක මාත්සර්‍ය්‍යය

අමාරුවෙන් සපයන්නා වූ ධනය අකාරණයෙහි වියදම් කොට නැති කර නො ගෙන ආරක්ෂා කර ගත යුතුය. එසේ නො කරන්නා හට දිළිඳු බවින් නොමිදිය හැකිය. ධනය සැපයිය යුත්තේ ද ආරක්ෂා කළ යුත්තේ ද උවමනා දෙයට වියදම් කරනු පිණිස ය. උවමනා තැනදී ද වියදම් නො කරන්නා වූ තැනැත්තාට ධනයෙන් අනාර්ථයක් මිස අර්ථයක් නැත. ධනය වියදම් කළ යුතු තැනදී ද සමහර විට මසුරා ගේ සන්තානයෙහි ඒ මසුරු බව අර්ථසංරක්ෂණතා වේශයෙන් පහළ වේ. එයට රැවටුණ මසුරා වියදම් කළ යුතු තැනදී ධනය රක්නට ගොස් සමහර විට මහත් දුක් කරදර වලට ද පැමිණෙන්නේ ය. සමහර විට ස්වල්පයක් රැක ගන්නට යාමෙන් සියල්ලම ද නැසෙන්නේ ය.

විචෙය්‍ය දානතා වේශයෙන් වඤ්චක මාත්සර්‍ය්‍යය

දන් දියයුතු අවස්ථාව පැමිණි කල්හි මසුරා ගේ සන්තානයෙහි විචෙය්‍ය දානතා වේශයෙන් (විමසා දන් දීමේ ආකාරයෙන්) ඒ මසුරු බව පහළ වන්නේ ය. එයට රැවටුණා වූ මසුරා ප්‍ර‍තිග්‍රාහකයන්ගේ සිල් සොයන්නට වන්නේ ය. “දුකසේ සපයා ගත් මේ ධනය අස්ථානයේදී වියදම් නො කළ යුතුය. දෙතොත් දිය යුත්තේ දානය මහත් ඵල වන සැටියට ය. සිල්වතකු ම සොයා ඔහුට දෙනු මිස අනෙකකුට මේ ධනය නො දිය යුතු යැ” යි අවස්ථාව ඉක්ම වන්නේ ය. ඔහු ගේ දීමත් එයින් ම කෙළවර වන්නේ ය.

පරාර්ථකාමතා වේශයෙන් වඤ්චක මාත්සර්‍ය්‍යය

දුගියකු යදියකු මගියකු කිසිවක් ලබාගනු සඳහා මසුරා වෙත පැමිණි කල්හි සමහර විට පරාර්ථකාමතා වේශයෙන් ඔහු ගේ සිත්හි මාත්සර්‍ය්‍යය පහළ වේ. එයින් වඤ්චිත වූයේ “නිකම් දී පුරුදු කළ කල්හි මෙතෙම වඩාත් අලසයෙක් වී හොඳට ම කාලකණ්ණියෙක් වන්නේ ය. දීම මොහුට කරන අපරාධයක් ය. මොහුට කරන්නට තිබෙන එකම යහපත නම් නො දීමමය” යි සිතා යදියාට අර්ථයක් සිදු කිරීමේ ආකාරයෙන් කිසිවක් නො දෙන්නේ ය.

මානය

ශ්‍රෙයෝ මානය - සදෘශ මානය - හීන මානය යි මානය ත්‍රිවිධ වේ. තමා විසින් තමා ධ්වජයක් සේ උසස් කොට ද, අන්‍යයන් පහත් කොට ද සිතා යුක්තියට ධර්මයට ගරු කළ යුත්තන්ට අගරු කරන නො නැමෙන ස්වභාවය ශ්‍රෙයෝ මානය යි. තමාට වඩා උසස් අය හා ද තමා හා සම කොට සිතා යුක්තියට ධර්මයට ගරු කළ යුත්තන්ට අගරු කරන නො නැමෙන ස්වභාවය සදෘශ මානය යි. තමා විසින් ම තමා පහත් කොට සිතා ගරු නො කළ යුත්තන්ට ද ගරු කරන, අයුක්තියට අධර්මයට නො නැමිය යුත්තාට නැමෙන, නො වැන්ද යුත්තාට වඳින, ලාමක ගතිය හීන මානය යි. තෙ වැදෑරුම් වූ ම මේ මානය අනේක වේශයෙන් පහළ ව වඤ්චා කරන්නේය.

නිහතමානතා වේශයෙන් වඤ්චක මානය

නිහතමානතාව යනු මානයට විරුද්ධ ස්වභාවයකි. සමහර විට මානය ම නිහතමානතා වේශයෙන් පහළ වන්නේ ය. මෙය බොහෝ සෙයින් දක්නා ලැබෙනුයේ පැවිද්දන් කෙරෙහි ය. ශික්ෂාවට හා ධර්මයට ද ආචාර්‍ය්‍යාපාධ්‍යායන්ට හා වැඩිමහල්ලටන්ට ද ගරු කරන්නා වූ, යටහත් පැවතුම් ඇත්තා වූ, සන්සුන් පැවතුම් ඇත්තා වූ, තෘෂ්ණාමානයන් වැඩීමට හේතු නො වන වස්තූන් සේ සලකනු ලබන, වටිනාකම මඳ වූ ද, දුර්වර්ණ වූ ද චීවරාදි පරිෂ්කාරයන් පරිභෝග කරන්නා වූ, මානය තුනී කරගෙන වෙසෙන්නා වූ භික්ෂුවගේ සිත්හි සමහර විට නිහතමානතාවේ ආකාරයෙන් මානය පහළ වේ. එයට රැවටෙන භික්ෂු තෙමේ තමා සේ නිහතමානයෝ නො වෙතැයි අන්‍යයන් පහත් කොට ද නිහතමානත්වයෙන් තමා උසස් කොට ද සිතන්නේ ය. අන් වෙසක් නො ගත් ස්වාභාවික මානයෙන් මත් වූ තැනැත්තේ යම් සේ පහත් යැ යි සලකන පුද්ගලයන් පිළිකුල් කෙරේ ද, අශෝභන වූ ද වටිනාකම මඳ වූ ද ඇඳුම් පැළඳුම් ආදිය පිළිකුල් කෙරේ ද එ පරිද්දෙන් ම නිහතමානතා වේශය ගත් මානය ඇති භික්ෂු තෙමේ වර්ණවත් චීවරාදිය පරිභෝග කරන භික්ෂුව ද වර්ණවත් චීවරාදි පරිෂ්කාරයන් ද වටිනාකම් ඇති චීවරාදී පරිෂ්කාරයන් ද පහත් කොට සිතන්නේ ය. පිළිකුල් කරන්නේ ය.

ආත්මගෞරවයේ වේශයෙන් වඤ්චක මානය

දුකට පත් වන්නට ඉඩ නොදී අන්‍යයන්ට කෙළි බඩුවක් කරගන්නට නොදී තමා ගේ ආත්මය ආරක්ෂා කරගන්නා ස්වභාවය ආත්ම ගෞරවය යි. එය තරමක් මානයේ මුහුණුවර ඇති ස්වභාවයක් මුත් මානය නොවේ. ආත්ම ගෞරවය සෑම දෙනා කෙරෙහි ම තිබිය යුත්තකි. එය නැති තැනැත්තේ ආත්මය ආරක්ෂා නොකරයි. කුමක් සිදු වුවත් කම් නැත. වන දෙයක් වේවා යි හෙතෙම කිසිවකට උත්සාහ නො කරන්නේ ය. එයින් ඔහු වඩාත් දුකට පත් වනු මිස දියුණුවට සැපයට උසස් බවට නො පැමිණෙන්නේ ය. ආත්ම ගෞරවය නැතියන් කෙරෙහි බොහෝ සෙයින් හීනමානය පහළ වේ. ආත්ම ගෞරවය ඇතියන් කෙරෙහි සමහරවිට ආත්ම ගෞරවයේ වේශයෙන් ශ්‍රෙයෝ මාන සදෘශ මානයෝ පහළ වෙති. ආත්ම ගෞරව ප්‍ර‍තිරූපක මානය ඇත්තේ ආත්ම ගෞරවයට හානියකැයි ගරු කළ යුත්තාට ද ගරු නොකරන්නේ ය. ගුරූපදේශ ලැබිය යුත්තාගෙන් ගුරූපදේශ නොගන්නේ ය. වැන්ද යුත්තාට නොවඳනේ ය. පිදිය යුත්තාට නො පුදනේ ය.

පුණ්‍යකාමතා වේශයෙන් වඤ්චක මානය

පින් පිණිස කළ යුතු කාර්යයක් කළ යුතු ව තිබෙන අවස්ථාවක ජනයා එයට ඉදිරිපත් වන්නට බියෙන් පසු බැස සිටින කල්හි සමහර විට එක් අයකුගේ සිත්හි පුණ්‍යකාමතා වේශයෙන් මානය පහළ වේ. එයින් වඤ්චිත වූ තැනැත්තේ ‘මෙතෙක් ධනවතුන් කරන්නට ඉදිරිපත් නො වූ, මෙතෙක් ප්‍ර‍භූන් කරන්නට ඉදිරිපත් නො වූ, සෑම දෙනාට ම නුපුළුවන්ය කියන්නා වූ මෙම කටයුත්ත, මම කරමි’යි ගර්වයෙන් එය කරන්නේ ය. අන්‍යයන් කරන කිනම් දෙයක් වුවත් තමා විසිනුත් නො කිරීම බාල්දුවක් කොට සලකන සමහරුන් කෙරෙහි ද මානය සමහර විට පුණ්‍යකාමතා වේශයෙන් පහළ වේ.

පරාර්ථකාමතා වේශයෙන් වඤ්චක මානය

යම් කිසිවකු විපතට පත්ව වෙසෙන කල ඔහුට පිහිට වන්නට කිසිවකු ඉදිරිපත් නො වන බව දක්නා තැනැත්තා කෙරෙහි සමහර විට පරාර්ථකාමතා වේශයෙන් මානය පහල වේ. එයින් වඤ්චිත වූ තැනැත්තේ “පොහොසතුන්ය, පරාර්ථකාමීන්ය, රටට ජාතියට වැඩ කරන්නන්ය, කියා සිටින කිසිවකු පිහිට නො වන මොහුට මම පිහිට වෙමි” යි ගර්වයෙන් විපතට පත් තැනැත්තාට උපකාරයට ඉදිරිපත් වන්නේ ය.

ඤාන වේශයෙන් වඤ්චක මානය

සෙය්‍ය සදෘශ හීන වශයෙන් තෙවැදෑරුම් වූ මේ මානය බොහෝ සෙයින් පහළ වනුයේ ඥානයේ ආකාරයෙනි. සෙය්‍ය මානයා ගේ වශයෙන් තමා උසස් කොට ගත්තා වූ තැනැත්තාට වැටහෙනුයේ එය හිස් හැඟීමක් මානයක් වශයෙන් නොව සත්‍ය වශයෙන් ඇත්තා වූ තමාගේ උසස් බව පිළිබඳ ව තමාට ඇති වූ දැනීමක් ලෙසට ය. යමක ඇති සැටිය දැනීම ඥානය බැවින් තමා කෙරෙහි ඇති වූ “ඒ තමා උසස් ය යන හැඟීම මානය” යි ඔහුට කෙලෙසකින්වත් නො වැටහෙන්නේ ය. හෙතෙම තමා කෙරෙහි මානයක් ඇති බව නො පිළි ගන්නේ ය. රැවටුණා වූ ඔහුට තව දුරටත් ඒ ගැන කල්පනා කරතහොත් නොයෙක් ආකාරයෙන් නොයෙක් හේතු උදාහරණ සහිතව තමාගේ උසස් බව ම පෙනෙන්නේ ය. එයින් හේ වඩාත් රැවටෙන්නේ ය. රැවටුණා වූ හෙතෙම කිසිවකුට ගරු කරන්නට නැමෙන්නට නොකැමති වන්නේ ය. තමාට වඩා දැනුමැති අනෙකකු ඇති බව නො පිළිගන්නා හේ කිසිවකු ගේ කීමක් අනෙකකු ඇති බව නො පිළිගන්නා කිසිවකු ගේ කීමක් අවවාදයක් අනුශාසනාවක් නො පිළිගන්නේ ය. එ පමණකුත් නොව තමාගේ ඇඳුම් පැළඳුම්, කෑම් බීම්, සිරිත් විරිත් යන ආදිය අන් සැමට ම වඩා උසස් කොට සිතන්නේ ය. ඒවායේ නො මනා තැන් වෙනස් කරන්නටවත් ස්වල්පයක් වත් අනුන් අනුකරණය කරන්නටවත් නො කැමති වන්නේ ය. එයින් ඔහු දියුණුවට නො පැමිණෙන, සෑම කල්හි ම ඒ තත්ත්වයේ ම සිටින කෙනෙක් හෝ වඩාත් පිරිහෙන කෙනෙක් හෝ වන්නේ ය. සදෘශ මානයට රැවටුණ තැනැත්තා ද තමා අන්‍යයන් හා සම තන්හි තබා සිතමින් සෙය්‍යමානකාරයා සේ ම පිළිපදින්නේ ය.

හීන මානය ඇති තැනැත්තාහට පෙනෙනුයේ ද එය තමාට ඇති වූ හිස් හැඟීමක් මානයක් සැටියට නොව සත්‍ය වශයෙන් ඇත්තා වූ තමාගේ හීනත්වය පිළිබඳ ඇති වූ දර්ශනයක් හෙවත් ඥානයක් සැටියට ය. හීන මානය ඇති තැනැත්තා නිතර ම අනුන්ට අවනත වන, ගරු නො කළ යුත්තන්ට ද ගරු කරන කෙනෙකි. එයින් වඤ්චිත වූ තැනැත්තේ උසස් වන්නට සිතා තමා විසින් උසස් යයි සලකන අනුන් අනුකරණය කරන්නෙක් වන්නේ ය. අනුන් කරන සැටි බලා එයට අනුව කථාව කෑම බීම ඇඳුම සිරිත විරිත පවත්වන්නට උත්සා කරන්නෙක් වන්නේ ය. අනුන් අනුකරණය කළ යුතු තැන දී එසේ නො කිරීම ය, සෑම තැනදීම අනුන් අනුකරණය කිරීම ය යන මේ දෙක ම පරිහානියට හේතු ය.

මානය කා කෙරෙහිත් ඇති නමුත් සෑම දෙන ම වාගේ කියනුයේ එය අන්‍යයන්ට ඇති බව හා තමන්ට නැති බව ය. ඔවුන් එසේ කියනුයේ වඤ්චාවකට නොව, තමන් ගේ මානය තමන්ට නො වැටහෙන බැවිනි. නො වැටහෙනුයේ එය නිතරම වාගේ අන්‍ය වේශයකින් පහළ වන බැවිනි.

ථීනය හා මිද්ධය

චිත්ත චෛතසිකයන්ගේ අලස බව, කටයුත්තෙහි හැකිළෙන, පසු බසින ස්වභාවය ථීන මිද්ධය යි. එද අනේකාකාරයෙන් පහළ ව වඤ්චා කරන ධර්ම යුග්මයකි.

සමාධි වේශයෙන් වඤ්චක ථීන මිද්ධය

මෙය සාමාන්‍ය ජනයාට නොව සමාධිය වඩන යෝගාවචරයන්ට ඇති වන යෝගාවචරයන් රවටන ධර්මයකි. සමාධිය වැඩීම සිත බොහෝ වෙහෙසට පත්වන ක්‍රියාවකි. සිත වෙහෙසට පත් වූ කල්හි එයට අනුව ශරීරයේ ඇතැම් ශුක්ෂ්ම ඉන්ද්‍රියයෝ ද වෙහෙසට පත් වෙති. එයින් සකල ශරීරයටමත් වෙහෙස දැනෙන්නට වන්නේ ය. පැයක් සමාධිය වඩන්නකුට ඇතිවන වෙහෙස දවසක් බර වැඩ කරන්නකුට ඇතිවන වෙහෙසට වැඩි බව කිව යුතුය. මෙය යෝග පුරුදු නො කළ වුන්ට නො වැටහෙන්නේ ය. සමාධිය අතුරුදහන් වී එය වෙනුවට ඔහුගේ සන්තානයෙහි සමහරවිට සමාධියේ වේශයෙන් ථීනමිද්ධය පහළ වේ. ඒ බව යෝගාවචරයාට නොදැනෙන්නේ ය. ඉන් පසු ඔහු සමාධිය වඩමිය යන අදහසින් සමාධි ප්‍රතිරූපක ථීනමිද්ධය වඩන්නේ ය. එයින් ඔහුගේ යෝගය නිෂ්ඵල වන්නේ ය.

පාපවිරමණාකාරයෙන් වඤ්චක ථීනමිද්ධය

යම්කිසි පාප ක්‍රියාවක් කරන්නට බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවක දී අලස බවට හේතු වන, අධික ශීතල, අධිකෝෂ්ණය, සාගින්න, අන්ධකාරය, ගිලන් බව යනාදි කරුණක් ඇති වුවහොත් සමහර විට ථීනමිද්ධය පාපයෙන් වළකිනු කැමති බවෙහි ආකාරයෙන් පහළ වේ. එයින් වඤ්චිත වූ තැනැත්තේ “ඒවා පව් සිදු වන වැඩ ය. ඒවා නො කිරීම ම යහපත් ය” යි එයින් වළකින්නේ ය. පාපයෙන් වැළකීම නම් කෙසේ සිදු වුවත් ඒ පුද්ගලයාට යහපතකි. එහෙත් අලස බව නිසා වැළකීම ශීලමය කුශලයට අයත් නොවේ.

ඥාන වේශයෙන් වඤ්චක ථීනමිද්ධය

අලස බව අධික තැනැත්තා කෙරෙහි බොහෝ සෙයින් එය ඥාන වේශයෙන් පහළ වේ. මහන්සි විය යුතු යම් කිසිවක් කළ යුතු අවස්ථාව පැමිණි කල්හි අලසයා ගේ සිත්හි ඒ දෙය කිරීමෙන් ප්‍රයෝජනයක් නැතැ යි කියා හෝ උත්සාහ කළත් ඒ දේ නො කළ හැකිය කියා හෝ හැඟීමක් ඇති වේ. ඒ ථීනමිද්ධය ඥාන වේශයෙන් පහළ වීම ය. එයින් වඤ්චිත තැනැත්තේ කළ යුත්ත අත් හරින්නේ ය.

පරීක්ෂණතා වේශයෙන් වඤ්චක ථීනමිද්ධය

අමාරු වැඩක් කළ යුතු ව තිබෙන කල්හි සමහර විට පරීක්ෂා කොට කරනු කැමති බවෙහි වේශයෙන් ථීනමිද්ධය පහළ වේ. එයින් වඤ්චිත තැනැත්තේ “පරීක්ෂා නො කොට යමක් කිරීම නුසුදුසුය. යමක් කරතහොත් කළ යුත්තේ පරීක්ෂා කොට එහි තත්ත්වය හොඳින් දැන ගෙන ය. එබැවින් කටයුත්තට ඉක්මන් නොවී පරීක්ෂා කොට සුදුසු නම් පසුව කරමි” යි කළ යුත්ත කල් තබන්නේ ය. අලසයන් විසින් මෙසේ පසුව කරන්නට තබන කටයුතු කල් තැබීමෙන් ම කෙළවර වන නමුත් කිසි කලෙක සිදු නො වේ.

ආත්මගෞරවයේ වේශයෙන් වඤ්චක ථීනමිද්ධය

වෙහෙසිය යුතු වැඩක් කළ යුතුව තිබෙන කල්හි සමහර විට අලසයාගේ සිත්හි ආත්ම ගෞරවයේ වේශයෙන් ථීනමිද්ධය පහළ වේ. එයින් වඤ්චිත වූයේ “මේ වැඩේ මගේ තත්ත්වයට නුසුදුසුය. මෙ බඳු පහත් වැඩ කිරීම මගේ ආත්ම ගෞරවයට බාධාවකැයි” කළ යුත්ත නො කරන්නේ ය.

ආත්මාරක්ෂකතා වේශයෙන් වඤ්චක ථීනමිද්ධය

බොහෝ වෙහෙසිය යුතු බරපතල වැඩක් කළ යුතු ව තිබෙන කල්හි සමහර විට ආත්මය ආරක්ෂා කිරීමේ වේශයෙන් ථීනමිද්ධය පහළ වේ. එයින් වඤ්චිත තැනැත්තේ “පමණට වඩා වෙහෙසීම නුසුදුසු ය. එය නිරෝග බවට හා ජීවිතය කල් පැවතීමටත් බාධාවකි. යමක් උපයන්නේ ආත්ම සංරක්ෂණය පිණිසය, එය ජීවිතයා ගේ පැවැත්මට බාධාවක් වෙතහොත් එයින් ඵලක් නැත” යි ආත්මය ආරක්ෂා කිරීමේ ආකාරයෙන් වැඩ නො කරන්නේ ය.

පරාර්ථකාමතා වේශයෙන් වඤ්චක ථීනමිද්ධය

සමහර විට ථීනමිද්ධය පරාර්ථකාමතා වේශයෙන් ද පහළ වේ. එයට රැවටුණ තැනැත්තේ අනුන්ගේ යහපත සඳහා අනුන්ට කර ගැනීමට ඉඩ තැබීමක් වශයෙන් සලකා තමා විසින් කර ගත යුතු වැඩ අත් හරින්නේ ය.

අල්පේච්ඡතා වේශයෙන් වඤ්චක ථීනමිද්ධය

සමහර විට ථීනමිද්ධය අල්පේච්ඡතා වේශයෙන් පහළ වන්නේ ය. එයට රැවටුණ තැනැත්තේ “අපට මේ තිබෙන ප්‍රමාණය ඇත. වැඩි ලෝභකම හොඳ නැත. අපි මේ තරමින් සතුටු වෙමු” යි ඇති දෑ දියුණු කර ගැනීමටත් නො ලැබූ දෑ ලැබීමටත් උත්සාහ නො කරන්නේ ය.

කුක්කුච්චය (කෞකෘත්‍යය)

පාපයක් කළෙමි යි කළ පාපය ගැන තැවීම ද, මට කුශල් කරන්නට නුපුළුවන් වී යැ යි නොකළ කුශලය ගැන පසුතැවීම ද කුක්කුච්චය යි. සමහර විට නො කළ පාපය ගැන හා කළ කුශලය ගැන ද පසු තැවෙති. එය අයාථාව කුක්කුච්චය යි.

කරුණා වේශයෙන් වඤ්චක කුක්කුච්චය

තමන්ට උපකාර කළ මා පියන්ට හා ගුරුවරුන්ටත්, තවත් එවැනි අයටත්, ප්‍ර‍ත්‍යූපකාර වශයෙන් සැලකිලි නො කළ අය කෙරෙහිත්, සමහර විට කරුණා වේශයෙන් කුක්කුච්චය ඇති වේ. ඔවුහු “බාල කල පටන් අපට උපකාර කළ, අප දියුණු කළ, අප කෙරෙහි අපමණ කරුණාවෙන් විසූ මවට පියාට ගුරුවරයාට සහෝදරයාට සහෝදරියට සැලකිල්ලක් කරන්නට නො ලැබුනේ යැයි” යි ඔවුන් ගැන දයාව දක්වන්නා වූ ආකාරයෙන් පසුතැවෙති. කෝප වී හෝ ලාභය පිණිස හෝ සතුන් මැරූ අය ද කෝප වී අනුන්ට පීඩා කළ අය ද, සමහර විට මැරූ සත්ත්වයින්ට හා පීඩා කරනු ලැබූ මිනිසුන්ට අනුකම්පා කරන ආකාරයෙන් කළ පාපය ගැන පසු තැවෙති. එසේ තැවීම හෙවත් කණගාටු වීම පාපය අඩුවීමට කරුණකැයි සමහරු සිතතත්, තෙමේ ම පාපයක් වූ කුක්කුච්චය කළ පාපයක් අඩුවීමට හෝ නැති වීමට කරුණක් නොවේ.

පුණ්‍යකාමතා වේශයෙන් වඤ්චක කුක්කුච්චය

පින් නො කොට, කළ හැකි අවස්ථාව ඉක්ම වූ ඇතැමුන් කෙරෙහි පුණ්‍යකාමතා වේශයෙන් කුක්කුච්චය පහළ වේ. එය පහළ වූ තැනැත්තේ තමා පෙර පින් කරන්නට සිතූ අවස්ථාවල් සිහි කරමින් “මම මහ දනක් දෙන්නට බලාපොරොත්තු වීමි. නුමුත් නිවාඩු නො ලැබුණ නිසා එය නුපුළුවන් විය. සිල් සමාදන් වන්නට බලාපොරොත්තු වූ නුමුත් අපේ ගෙවල කරදර නිසා නුපුළුවන් විය” යනාදීන් පින් කරනු කැමති බවෙහි ආකාරයෙන් තැවෙන්නේ ය.

ශික්ෂාකාමතා වේශයෙන් වඤ්චක කුක්කුච්චය

මෙය බොහෝ සෙයින් පැවිද්දන් කෙරෙහි උපදනා වඤ්චක ධර්මයකි. ශික්ෂාකාමී වූ ද ඇතැම් පැවිද්දෝ චිත්ත දුර්වලත්වය නිසා ද, කෙලෙසුන්ට වසඟ වීම නිසා ද, නො දැනීම නිසා ද, ඇතැම් සිකපද බිඳ ගනිති. ඔවුන් කෙරෙහි සමහරවිට “මාගේ ශීලය ශුද්ධ නැත ද ශීලය බිඳීමෙන් මට පාපයක් වීද” යනාදීන් ශික්ෂාකාමතා වේශයෙන් කුක්කුච්චය පහළ වේ.

අහිරිකය හා අනොත්තප්පය

පාපයට ලජ්ජා නොවන, පාපය පිළිකුල් නො කරන, එය උතුම් කොට ගන්නා ස්වභාවය “අහිරික” නමි. පාපයට බිය නො වන, පාපය පිහිටක් කොට ගන්නා ස්වභාවය “අනොත්තප්ප” නමි. මේ දෙක සැම කල්හි එක් ව පවත්නා ධර්ම දෙකකි. යම් තැනක අහිරිකය ඇති නම් එතැන අනොත්තප්පය ද ඇත. යම් තැනක අනොත්තප්පය වේ නම් එ තැන අහිරිකය ද ඇත.

පරාක්‍ර‍මයේ වේශයෙන් වඤ්චක අහිරිකානොත්තප්පයෝ

වීර්යයට හෙවත් නො පසු බස්නා බවට පරාක්‍ර‍ම යයි කියනු ලැබේ. බොහෝ දෙනකු ඇති තැනක දී යම් කිසි පාපක්‍රියාවක් කැරුමට අන්‍යයන් ලැජ්ජාවෙන් හා බියෙන් පසු බස්නා කල්හි සමහර විට කෙනකුගේ සිත්හි අහිරිකානොත්තප්පයෝ පරාක්‍ර‍මයේ වේශයෙන් පහළ වෙති. හේ මහත් දස්කමක් කරන ලීලාවෙන් අන්‍යයන් නො කරන ඒ පාපක්‍රියාව කරන්නේ ය.

ධෛර්යය වේශයෙන් වඤ්චක අහිරිකානොත්තප්පයෝ

යම්කිසි පාපක්‍රියාවක ඇලී සිටින්නකුට එයින් දුරු වන ලෙස හිතවතුන් විසින් අනුශාසනා කරන අවස්ථාවලදී ද, මා පිය ගුරුවරාදීන් විසින් තර්ජනය කරන අවස්ථාවලදී ද, සමහර විට ඔහුගේ සිත්හි ධෛර්යයේ වේශයෙන් අහිරිකානොත්තප්පයෝ පහළ වෙති. එයින් ඔහු “කවුරුන් කුමක් කීවත් කුමක් කළත් මා කරන දෙය එසේ ම කරමි” යි එහිම පිහිටා කිසිවකුට අවනත නොවී එය කරගෙන යන්නේ ය. මෙ බඳු අවස්ථාවලදී අහිරිකානොත්තප්පයන් ධෛර්ය්‍යයේ වේශයෙන් පැමිණෙනුයේ ස්වභාවයෙන් ධෛර්ය්‍යය හීන වූවන්ට ය. ස්වභාවයෙන් ධෛර්ය්‍යය ඇති තැනැත්තා කෙරෙහි මෙ බඳු අවස්ථාවල දී ධෛර්ය්‍යය ම ක්‍රියා කරන්නේ ය. අහිරිකානොත්තප්පයන් බලධර්මයන්ට ඇතුළු කොට වදාරා තිබෙන්නේ ද ඒවායේ ඇති ධෛර්ය්‍යය පරාක්‍ර‍ම ප්‍ර‍තිරූපකත්වය නිසා බව සිතිය යුතුය.

සත්‍යවාදිතා වේශයෙන් වඤ්චක අහිරිකානොත්තප්පයෝ

ලජ්ජාව හා බිය නිසා තමන්ගේ පව් කම් සඟවන්නා වූ ජනයාගේ මධ්‍යයෙහි සමහර විට කෙනකු කෙරෙහි සත්‍යවාදිතා වේශයෙන් අහිරිකානොත්තප්පයෝ පහළ වෙති. ඒවායින් වඤ්චිත තැනැත්තේ සත්‍ය වාදීත්වයේ ආකාරයෙන් ලජ්ජා බිය විරහිත ව තමාගේ පව්කම් පවසයි.

සෘජුත්වයේ වේශයෙන් වඤ්චක අහිරිකානොත්තප්පයෝ

ප්‍ර‍කෘතියෙන් සෘජු බවක් නැතියන් කෙරෙහි සමහර විට සෘජුත්වයේ වේශයෙන් අහිරිකානොත්තප්පයෝ පහළ වෙති. ඔවුහු ඒ ලජ්ජා බිය නැති බව තමන්ගේ අවංක බව යැයි සිතා අන්‍යයන් සැඟවී කරන පව්කම් ප්‍ර‍සිද්ධියේ කරති.

දෘෂ්ටි, මෝහ, විචිකිත්සා

සත්‍ය දර්ශනය හෙවත් යමක ඇති සැටිය නො වරදවා දැනුම ඥානය යි. වැරදි ලෙස දැනුම දෘෂ්ටිය යි. දෘෂ්ටිය වැරදි දැකීමක් වුවත් සෑම කල්හි පවත්නේ සත්‍ය දර්ශනයේ හෙවත් ඥානයේ වේශයෙනි. එබැවින් දෘෂ්ටියක් ඇති තැනැත්තේ එය සත්‍ය දර්ශනය සැටියට මිස වැරදි හැඟීමකැ යි නො පිළි ගනී.

මෝහයත් බොහෝ සෙයින් ඥාන වේශයෙන් ම පහළ වෙයි. මෝහය අධික වූ පමණට ඒ පුද්ගලයාට තමා පණ්ඩිතයකු සැටියට වැටහේ. එසේ වන්නේ මෝහයාගේ ඥාන වේශයෙන් වඤ්චකත්වය නිසා ය.

විචිකිත්සාව ද සමහර විට විමර්ශන ඥාන වේශයෙන් පහළ වේ. ලෝභ, මෝහ, දෘෂ්ටි, විතර්ක, විචාර, චිත්ත යන මේ ධර්මයෝ අකුශල පක්ෂයෙහි අකුශල කරණයට උපාය යෙදීම් ආදී වශයෙන් ඥානය සේ ක්‍රියා කෙරෙති.

නෙත්ති ප්‍ර‍කරණාර්ථ කථාවේ දැක්වෙන වඤ්චක ධර්ම

ආචාර්ය ධර්මපාල මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් විරචිත නෙත්ති ප්‍ර‍කරණාර්ථ කථාවෙහි වඤ්චක ධර්ම අටතිසක් දක්වා තිබේ. ඒවා බොහෝ සෙයින් පැවිද්දන්ට හා යෝගාවචරයන්ටත් ඇති වන වඤ්චක ධර්මයෝ ය. ඒවා අතර සාමාන්‍ය ජනයා කෙරෙහි ඇති වන වඤ්චක ධර්ම ඇත්තේ ස්වල්පයකි. නෙත්ති අටුවාවෙහි දක්වා තිබෙන්නේත් ඒවායේ නාම මාත්‍ර‍ය පමණෙකි. නෙත්ති අටුවාවට ටීකා දෙකක් ඇතත් ඒවායේ ද මේ වඤ්චක ධර්ම පිළිබඳ ව වචන මාත්‍ර‍යක් වත් සඳහන් කර නැත. ඒවායින් සමහරක් තේරුම් ගැනීම ඉතා දුෂ්කරය. ඒවා පිළිබඳ මෙම විස්තර කරනු යේ අපගේ අදහසේ සැටියට ය.

1. අප්පටිකූල සඤ්ඤාමුඛෙන කාමච්ඡන්දො වඤ්චෙති

අප්‍ර‍තිකුල සංඥා වේශයෙන් කාමච්ඡන්දය වඤ්චා කෙරේ.

කෙස් ලොම් ආදී ශාරීරික කොට්ඨාසයන් ධාතු වශයෙන් සලකා භාවනා කරන්නා වූ යෝගාවචරයා හට එය දියුණු වූ පසු තමාගේ ශරීරයෙහි කෙස්, ලොම්, සොටු, මල මුත්‍රාදිය ද, අන්‍යයන්ගේ කෙස්, ලොම්, සොටු, මල මුත්‍රාදිය ද, පස් දිය ගස් ගල් ආදිය ද යන සියල්ල ම වෙනසක් නැතිව ධාතු සමූහ සැටියට ම පෙනෙන්නට වන්නේ ය. බාලයාගේ ද බාලිකාවගේ ද තරුණයාගේ ද තරුණියගේ ද මහල්ලා ගේ ද, මැහැල්ලගේ ද මළහුගේ ද ජීවත්වන්නහුගේ ද යන සෑම දෙනාගේ ම ශරීර, ධාතු සමූහ සැටියට ම ඔහුට පෙනෙන්නට වන්නේය. අන්‍යයන් පිළිකුල් කරන සෙම් සොටු මල මුත්‍රාදිය පිළිබඳවත් වෘද්ධ රෝගාතුරාදි පුද්ගලයන් ගැනවත් ඔහුට පිළිකුලක් නැත. එය අන්‍යයන් පිළිකුල් කරන වස්තූන් හා පුද්ගලයන් අප්‍ර‍තිකූලත්වයෙන් දන්නා ඥාන විශේෂයකි. එයට අප්‍ර‍තිකූල සංඥාව යැයි කියනු ලැබේ.

මෛත්‍රී කරුණා මුදිතෝපේක්ෂා යන බ්‍ර‍හ්මවිහාර ධර්මයන් වැඩූ තැනැත්තන් කෙරෙහි ද සත්ත්වයන් පිළිබඳ අප්‍ර‍තිකූල සංඥාව ඇතිවේ. අප්‍ර‍තිකූල සංඥා සංඛ්‍යාත ඒ ඥාන විශේෂය ඇති කර ගත් තැනැත්තා හට දොම්නසක් නැති වැ පිළිකුලක් නැති වැ මුව හැකිළවීමක් නො කොට අනුන් ගේ සෙම් සොටු මල මුත්‍රාදිය වුව ද පවිත්‍ර‍කළ හැකි ශක්තියක් ලැබේ. මල මුත්‍රා දී අපවිත්‍ර‍ ද්‍ර‍ව්‍ය ඇති දුර්ගන්ධය හමන තැනක වුව ද කළ යුතු දෙයක් කළ හැකි ශක්තියක් ද පිළිකුල් කටයුතු මහල්ලකුට රෝගියකුට උවද උපස්ථාන කළ හැකි ශක්තියක් ද ලැබේ. අන්‍යයන් පිළිකුල් කරන පුද්ගලයන් හා වස්තූන් පිළිබඳ යම් කිසිවක් කිරීමෙන් ලාභ කීර්ති ප්‍ර‍ශංසා ලැබිය හැකි තැනදී සමහර විට ලාභාදිය පිළිබඳ ආශාව වූ කාමච්ඡන්දය අප්‍ර‍තිකූල සංඥා වේශයෙන් පහළ වේ. රාගයට වස්තු වන ඇතැම් පුද්ගලයන් පිළිබඳ වූ කාමච්ඡන්දය ද ඒ පුද්ගලයන් හා ඔවුන්ගේ අපවිත්‍ර‍ ද්‍ර‍ව්‍යයන් පිළිකුල් නො කිරීම් වශයෙන් අප්‍ර‍තිකූල සංඥා වේශයෙන් පහළ වේ. ඒවාට අප්‍ර‍තිකූල සංඥාව යැයි ඒ පුද්ගලයෝ රැවටෙති.

2. පටික්කූලසඤ්ඤා පතිරූපතාය ව්‍යාපාදො වඤ්චෙති

ප්‍ර‍තිකූල සංඥා ප්‍ර‍තිරූපකත්වයෙන් ව්‍යාපාදය වඤ්චා කෙරේ.

කේශාදි ශාරීරික කොට්ඨාසයන් ප්‍ර‍තිකූල වශයෙන් බලමින් භාවනා කරන තැනැත්තා හට ඒ භාවනාව දියුණු වූ කල්හි පරම රූප සෞන්දර්‍ය්‍යයෙන් යුක්ත යෞවන කාන්තාවක දක්නා කල්හි ද පිළිකුල් බවක් මිස ප්‍රීතියක් ඇති නොවේ. ඔහුට අන්‍යයන් වලාකුළකට මොනර පිල් කළඹකට උපකා කොට වර්ණනා කරන ඇගේ කේශ කලාපය, කසළ ගොඩක තිබෙන කෙස් රොදක් සේ ම පිළිකුල් ය. පුන් සඳකට පියුමකට උපමා කොට වර්ණනා කරන ඇගේ මුහුණ, අමු සමක එතූ අමු මස් පිඩක් සේ පිළිකුල් ය. අන්‍යයන් මානෙල් මල් යුවලකට ඉඳුනිල් මිණි යුවලකට උපමා කොට පසසන ඇගේ නෙත් යුවල, ඔහුට පෙනෙනුයේ කබ කඳුළු, වැගිරෙන සිදුරු දෙකක් ලෙසට ය. අන්‍යයන් ස්වර්ණාඞ්කුශයක් බඳුයැ යි පසසන ඇගේ නාසය, ඔහුට පෙනෙනුයේ සොටු ගලන සිදුරු දෙකක් ලෙසට ය. අන්‍යයන් පියුම් පෙති රෝස මල් පෙතිවලට උපමා කොට පසසන ඇගේ කම්මුල් ඔහුට පෙනෙනුයේ අමු සමින් වැසුණු මස් වැදලි දෙකක් ලෙසට ය. අන්‍යයන් මුතු ඇට පෙළකට උපමා කොට පසසන ඇගේ දත් පෙළ ඔහුට පෙනෙනුයේ කලගෙඩි කටක පෙළට සිට වූ ලබු ඇට පෙළක් සේ ය. අන්‍යයන් රන්කුඹු වැනිය, ස්වර්ණ හංසයන් වැනියැ යි පසසන ඇගේ පයෝධරයුග්මය, ඔහුට පෙනෙනුයේ එල්ලෙන මස් පිඩු දෙකක් ලෙසට ය. යෝගාවචරයන්ට ඇතිවන මේ පිළිකුල ද්වේෂය නොව, ඒ ඒ දෙයෙහි ඇත්තා වූ ම ප්‍ර‍තිකූලත්වය දක්නා ඥානය යි. ඒ ඥානයට ප්‍ර‍තිකූල සංඥාව යැයි කියනු ලැබේ.

ද්වේෂය අධික වූ සමහරුන්ට අන්‍යයන් ගේ සුන්දරත්වය, ඒ ද්වේෂය නිසා ප්‍ර‍තිකූලත්වයෙන් සමහර විට පෙනෙන්නේ ය. එකල්හි ඒ ද්වේෂයට ඇත්තේ ද ප්‍ර‍තිකූල සංඥාවේ ආකාරය ය. ප්‍ර‍තිකූල සංඥාව වඩන (පිළිකුල් භාවනා කරන) යෝගාවචරයෝ සමහර විට ඒ ද්වේෂයට තමන් වඩන ප්‍ර‍තිකූල සංඥාව ම යැ යි රැවටෙන්නෝ ය. මෙය පිළිකුල් භාවනාව කරන පැවිද්දන් විසින් හා උපාසිකෝපාසිකාවන් විසින් ද හොඳින් තේරුම් ගත යුතු කරුණෙකි.

3. සමාධිමුඛෙන ථීන මිද්ධං වඤ්චෙති

සමාධියේ වේශයෙන් ථීනමිද්ධය වඤ්චා කෙරේ.

ශරීරයේ චලනය සමාධියට බාධාවක් බැවින් එක් ඉරියව්වකින් ම නිශ්චල ව වෙසෙමින් භාවනා කරන්නා වූ තැනැත්තා කෙරෙන් වීර්‍ය්‍යය පහ වී යන්නේය. ඒ අවස්ථාවේ දී සමහර විට යෝගාවචරයාගේ සිතට සමාධියේ ආකාරයෙන් ථීනමිද්ධය එළඹෙන්නේ ය. ගෝගාවචරයා එයට රැවටෙන්නේ ය. රැවටුනා වූ හේ ථීනමිද්ධය පිළිගෙන එයට වැඩෙන්නට ඉඩ දෙන්නේ ය. ථීනමිද්ධය නම් ධ්‍යාන මාර්ගඵලයන්ට ප්‍ර‍තිපක්ෂ වූ ඒවා ලැබීමට බාධා කරන්නා වූ නීවරණ ධර්මයකි.‍

4. විරියාරම්භමුඛෙන උද්ධච්චං වඤ්චෙති.

වීර්‍ය්‍යයා ගේ වේශයේ ඖද්ධත්‍යය වඤ්චා කෙරේ.

භාවනා කොට ධ්‍යාන මාර්ග ඵලාදිය උපදවා ගැනුම පහසු වැඩක් නොව ඉතා දුෂ්කර වැඩකි. මත්ස්‍යයා දියෙහි මිස ගොඩ ආස්වාදයක් නො ලබන්නාක් මෙන් පෘථග්ජන පුද්ගලයා ගේ සිත පඤ්චකාමයෙහි මිස භාවනාවෙහි ආස්වාදයක් නො ලබයි. එබැවින් පඤ්ච කාමයෙන් මුදවා භාවනාවෙහි සිත පිහිටුවා ගැනීමට බලවත් උත්සාහයක් තිබිය යුතුය. එබඳු උත්සාහයක් නැති තැනැත්තාට භාවනාවෙන් ඵල නො ලැබිය හැකිය. එබැවින් ඉහාත්මයෙහි ම භාවනා ඵලය ලබනු කැමති යෝගාවචරයෝ මහෝත්සාහයෙන් එය කර ගෙන යති. මහෝත්සාහයෙන් භාවනා කරන්නා වූ යෝගාවචරයා කෙරෙහි සමහර විට ඖද්ධත්‍යය ද වීර්‍ය්‍යයේ වේශයෙන් පහළ වන්නේ ය. එය ද ධ්‍යානාදියට ප්‍ර‍තිපක්ෂ වූ ඒවා වළක්වන්නා වූ නීවරණ ධර්මයකි. වීර්‍ය්‍ය ප්‍ර‍තිරූපක ඖද්ධත්‍යයට රැවටී එය වඩන්නා වූ යෝගාවචරයාටද තමාගේ අභිමතාර්ථය සිදු නොවේ.

5. සික්ඛාකාමතාමුඛෙන කුක්කුච්චං වඤ්චෙති

ශික්ෂාකාමත්වයේ වේශයෙන් කුක්කුච්චය වඤ්චා කෙරේ.

ශීලය නිර්මල කොට රක්ෂා කරනු කැමති බව ශික්ෂාකාමතා නමි. කළ යුත්ත නො කළ යුත්ත ගැන ද කැප දෙය හා අකැප දෙය ගැන ද විමසන ස්වභාවය ශික්ෂාකාමියා ගේ ලක්ෂණයයි. කළ දෙය වරද ද නිවරද ද කැප ද අකැප ද යනාදීන් ඇතිවන චිත්ත සන්තාපය කුක්කුච්චය යි. ද්වේෂ සහගත වූවක් බැවින් ඒ කුක්කුච්චය පාපයකි. සමහර විට ශික්ෂාකාමීන් කෙරෙහි ඒ කුක්කුච්චය ශික්ෂාකාමිත්වයේ වේශයෙන් පහළ වන්නේ ය.

6. උභයපක්ඛ සන්තීරණ මුඛෙන විචිකිච්ඡා වඤ්චෙති

දෙපක්ෂය විමසීමේ ආකාරයෙන් විචිකිත්සාව වඤ්චා කෙරේ.

මෙහි විචිකිච්ඡාව යැයි කියනු ලබනුයේ බුදුන් වහන්සේ ගේ ධර්මය පිළිබඳව ඇතිවන සැකයට ය. ඒ ධර්මය වනාහි පින් පව්, ඒවායේ විපාක, නැවත ඉපදීම, අපාය දිව්‍යලෝක බ්‍රහ්මලෝක යන සත්ත්වාවාස, මිනිස් ඇසට නො පෙනෙන දිව්‍ය බ්‍ර‍හ්මාදි සත්ත්ව විශේෂ, ධ්‍යාන, අභිඥා, මාර්ග, ඵල, නිර්වාණ යනාදී ගැඹුරු කරුණු හා දුකින් මිදීමේ ආකාරය දක්වන දේශනාවකි. ඒ ධර්මයට ඇතුළත් බොහෝ කරුණු සාමාන්‍ය මනුෂ්‍ය ඥානය ඉක්ම වූ විශිෂ්ට ඥාන දර්ශනයක් ලත් බුද්ධාදීන්ගේ ඥානයෙන් මිස සාමාන්‍ය මනුෂ්‍ය ඥානයෙන් දත හැකි කරුණු නො වේ. සූක්ෂ්ම දෑ බැලිය හැකි කණ්ණාඩියක උපකාරය නැතිව නො බැලිය හැකි දෙය කොතෙක් උත්සාහ කොට බැලුවත් ප්‍ර‍කෘති ඇසට නොපෙන්නාක් මෙන් විශිෂ්ට ඥාන දර්ශනයට මිස සාමාන්‍ය ඥානයට හා වක්ෂුරාදි ඉන්ද්‍රියයනට හසු නො වන දෙය එබඳු විශිෂ්ට ඥානයක් නැති කෙනකුට කොතෙක් උත්සාහ කළත් පෙනෙන්නේ නො වේ. ඒවා ප්‍ර‍ත්‍යක්ෂ කර ගැනීමට නම් පළමුවෙන් එ බඳු ඥානයක් ලැබීමට උත්සාහ කළ යුතු ය.

ඇතැම්හු තමාට ඇති දුර්වල ඥානය සියල්ල දැනීමට ප්‍රමාණවත් එකකැයි සිතා තමා ගේ ඒ දුර්වල ඥානයට හසු නො වන නොදැනෙන සියල්ල ප්‍ර‍තික්ෂේප කරන්නටත් තීරණය කරන්නටත් ඉක්මන් වෙති. එය මුළාවෙකි. ඒ ධර්ම දත හැකි විශිෂ්ට ඥානය නො ලැබූ තැනැත්තන් විසින් කළ යුත්තේ බුද්ධාදි උත්තම පුද්ගලයන් කෙරෙහිත් බුදුන් වහන්සේගේ ධර්මය කෙරෙහිත් විශ්වාසය තබා ඒවා ගෞරවයෙන් පිළිගෙන ඒ ධර්මයට අනුව පිළිපැදීම ය. ඇස් ඇති තැනැත්තා කියන මග නො ගොස් තමාට ම මග පෙනෙන තුරු යෑමට බලා සිටින අන්ධයා හට කවර කලෙක වත් මග යන්නට නො ලැබෙන්නාක් මෙන්, ධර්මය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැන ගෙන ම පිළිපදින්නට බලාපොරොත්තු වන්නහුට කිසි කලෙක ධර්මානුකූල ව පිළිපදින්නටවත් ධර්මය ප්‍ර‍ත්‍යක්ෂ කර ගැනීමටවත් දුකින් මිදීමටවත් නො ලැබෙන්නේ ය. ඒ සියල්ල ම ශ්‍ර‍ද්ධාවෙහි හෙවත් විශ්වාසයෙහි පිහිටා සිදු කර ගත ඒවා ය.

තමාට අප්‍ර‍ත්‍යක්ෂ දෙයක් අනුන් කියනු අසා එයට අනුව ක්‍රියා කරන්නා වූ තැනැත්තා හට සැක ඇතිවීම නම් අනිවාර්ය කරුණකි. බුද්ධ ධර්මය අනුව පිළිපදින්නා වූ තැනැත්තා හටත් ඒ සැකය ඇති වීම නො වැළැක්විය හැකි කරුණකි. ඒ සැකය ප්‍ර‍තිපත්තියට මහත් බාධාවකි. ආගමානුකූලව පිළිපදින ආගමික ක්‍රියා කරන තැනැත්තා ගේ ඒ ක්‍රියාමාර්ගය ආවරණය කරන කටු වැටකි. එබැවින් විචිකිච්ඡාව නීවරණයක් යැයි ද තථාගතයන් වහන්සේ වදාළ සේක. ධර්මයට අනුව පිළිවෙත් පුරන්නා වූ පින් කරන්නා වූ කෙනකු කෙරෙහි විචිකිච්ඡාව ඇති වුව හොත් එයින් ඔහුගේ වැඩ පිළිවෙල නවතින්නේ ය. සම්පූර්ණයෙන් නො නැවතුන ද පමා වන්නේ ය. එබැවින් ස්වර්ග මෝක්ෂ සම්පත් ප්‍ර‍තිලාභය කර ගනු කැමැතියන් විසින් දුකින් මිදෙනු කැමැතියන් විසින් ධර්මය ප්‍ර‍ත්‍යක්ෂ කරනු කැමැතියන් විසින් තමා තුළ ඒ විචිකිච්ඡාව ඇති වුව හොත් එය තමාගේ සතුරකු බව දැන වහා තමන්ගේ සිතින් පලවා හැරීමට, යට කර දැමීමට උත්සාහ කළ යුතුය. එයට වැඩෙන්නට ඉඩ නො දිය යුතුය. ශ්‍ර‍ද්ධාව ම වඩා ගත යුතු ය. ශ්‍ර‍ද්ධාව වඩමින් විචිකිත්සාව දුරු කොට ක්‍රියා කරන තැනැත්තා කෙරෙහි ද සමහර විට ඒ විචිකිත්සාව විමසීමේ වේශයෙන් පහළ වන්නේ ය. එය විචිකිත්සාව ම බව තේරුම් ගත නො හෙන තැනැත්තේ එයට රැවටෙන්නේ ය. හෙතෙම “සත්‍ය කුමක් ද අසත්‍යය කුමක් දැයි සොයා ගෙන පිරිසිදු ව දැන ගෙන ම ආගමික ක්‍රියා කරන්නෙමි, ආගමික ප්‍ර‍තිපත්ති පුරන්නෙමි” යි ද පමා වන්නේ ය. සමහර විට සම්පූර්ණයෙන් ම ඔහුගේ ආගමික වැඩ එයින් නවතින්නේ ය.

7. ඉට්ඨානිට්ඨ සමුපෙක්ඛණ මුඛෙන සම්මෝහෝ වඤ්චෙති.

ඉෂ්ටානිෂ්ටයන් සම ව සැලකීමේ වේශයෙන් සම්මෝහය වඤ්චා කෙරේ.

ධර්මය ඉගෙනීම භාවනාවෙහි යෙදීම යන ආදියෙන් සකස් නො කළා වූ ප්‍ර‍කෘති චිත්තය ඇති සාමාන්‍ය පුද්ගලයා ගේ සිත, ලාභ පරිවාර ප්‍ර‍ශංසා සුඛ සංඛ්‍යාත ඉෂ්ටයන් කරණකොට ගෙන ඇලීම් උඩඟුවීම් වශයෙන් සැලෙන්නේ ය. විපර්‍ය්‍යාසයට පැමිණෙන්නේ ය. එසේම අලාභ හානි නින්දා දුඃඛ සංඛ්‍යාත අනිෂ්ටයන් කරණකොට ගෙන කිපීම් බියවීම් ශෝක කිරීම් ලජ්ජාවීම් ආදියෙන් විපර්‍ය්‍යාසයට පැමිණෙන්නේ ය. තෘෂ්ණාමානාදි ක්ලේශයන් බැහැර කොට සිත දියුණු කර ගත් පිරිසිදු කරගත් පුද්ගලයන්ගේ සිත ඉෂ්ටානිෂ්ට දෙකෙහි ම විපර්‍ය්‍යාසයක් නැති ව සම ව පවත්නේ ය. ඒ ඉෂ්ටානිෂ්ට දෙක්හි සම ව පැවතිය හැකි බව වනාහි ආර්‍ය්‍ය ගුණයකි. එය සර්ව සම්පූර්ණ තත්ත්වයෙන් ඇත්තේ රහතුන් කෙරෙහි පමණ ය. ධර්මය පුහුණු කිරීම භාවනා කිරීම යන ආදියෙන් සිත තරමක් දුරට ශුද්ධ කරගත් පෘථග්ජනයන් තුළ ද ඒ ගුණය තරමක් දුරට ඇති වේ. මෙහි ඉෂ්ටානිෂ්ටයන් සම ව සැලකීම යැ යි කියන ලදුයේ ඒ ගුණයට ය. ඉෂ්ටානිෂ්ටයන්ගේ තත්ත්වය තේරුම් ගැනීමට අසමත් බව වූ සම්මෝහය නිසා ද සමහරු සමහරවිට ඉෂ්ටානිෂ්ටයන් හි නො සැලී වෙනසකට නොපැමිණ වෙසෙති. සම්මෝහය නිසා වන ඒ ඉෂ්ටානිෂ්ටයන් සම කොට සැලකීම ගුණයක් නොවේ. එහෙත් සමහර විට එයත් තමාගේ ගුණයකැයි මුලා විය හැකිය. “ඉෂ්ටානිෂ්ටයන් සම සේ සැලකීමේ ආකාරයෙන් සම්මෝහය වඤ්චා කෙරේ යැ යි” කියන ලදුයේ එහෙයිනි.

8. අත්තඤ්ඤුතා මුඛෙන අත්තනි අපරිභවෙන මානො වඤ්චෙති.

තමා ගැන සැලකීමේ ආකාරයෙන් ආත්මය දුකට පත් වන්නට නොදී ආරක්ෂා කිරීමේ ආකාරයෙන් මානය වඤ්චා කෙරේ.

තමා ගැන නො සලකන, දුකට පත්වන්නට ඉඩ හරින තැනැත්තා හට දුකින් නො මිදිය හැකිය. නැණවතා විසින් අන් සියල්ලට ම වඩා තමා ගැන සැලකිය යුතුය. “අත්තානං චෙ පියං ජඤ්ඤා රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං, අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයෙ, අත්තදත්ථං පරත්ථෙන බහුනාපි න හාපයෙ” යනාදීන් නොයෙක් අයුරින් තථාගතයන් වහන්සේ ද ආත්මය ආරක්ෂා කර ගැනීමේ උතුම් බව වදාළ සේක. ආත්මය ආරක්ෂා කිරීම සිහි නුවණ දෙකට අයත් ක්‍රියාවකි. සමහර විට මානය ද ආත්මය ආරක්ෂා කිරීමේ, උසස් බවට පැමිණවීමේ, ශුද්ධියට පැමිණවීමේ වේශයෙන් එළඹ සිටින්නේ ය. එයින් රැවටුණ තැනැත්තේ ගුණයක් කොට සිතා මානය ම වඩන්නේ ය.

9. වීමංසා මුඛෙන හෙතුපතිරූපක පරිග්ගහෙන මිච්ඡාදිට්ඨි වඤ්චෙති

විමසීමේ වේශයෙන් ප්‍ර‍තිරූපක හේතූන් ගැනීමෙන් මිථ්‍යාදෘෂ්ටිය වඤ්චා කෙරේ.

විමසීම ප්‍ර‍ඥාවට අයත් ක්‍රියාවකි. කළ හැකි නම් හැම කරුණක් ම විමසා ඒවායේ තතු දැන ගැනීම යහපති. විමසා වැඩ කළ යුතු බවත්, නො විමසා ක්‍රියා කිරීම අන්තරායකර බවත් බුදුන් වහන්සේ විසින් හා තවත් බොහෝ ප්‍රාඥයන් විසින් ද ප්‍ර‍කාශ කරන ලදහ. විමසීම යහපත් වුවත්, නො විමසා ක්‍රියා කිරීම අන්තරායකර වුවත්, සාමාන්‍ය මනුෂ්‍යයකු සියල්ල ම විමසා නියම වශයෙන් දැන ගෙන ම වැඩ කරන්නට සැරසෙත හොත් ඔහුට වැඩ කරන්නට කලක් නො ලැබෙන්නේ ය. විමසීමට ම ඔහුගේ කාලය ගෙවී යන්නේ ය. එබැවින් විමසීම යහපත් වුවත් එය එක්තරා ප්‍ර‍මාණයකින් කළ යුත්තකි. සැම දෙනා ම සැම දෙයක් ම විමසා ප්‍ර‍ත්‍යක්ෂ කර ගැනීමට සමත් නො වෙති.

සිත කිලිටි කරන්නා වූ ද, දුබල කරන්නා වූ ද, ඥානය ආවරණය කරන්නා වූ ද කාමච්ඡන්දාදි නීවරණයන් ස්වසන්තානයෙන් බැහැර කොට ධ්‍යානාභිඥා මාර්ගඵල සංඛ්‍යාත උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් උපදවා ගත්තා වූ බුද්ධාදි මහෝත්තමයන් ගේ පරම විශුද්ධි ඥානයෙන් දක්නා ලද සත්ත්වෝත්පත්ත්‍යාදි ගැඹුරු කරුණු සාමාන්‍ය මනුෂ්‍ය ඥානයට අවිෂය ය. එ බඳු ගැඹුරු කරුණු දැක්වෙන ආගම ධර්මය පිළිබඳ විමසුම් කරන්නවුන් විසින් ඒ මහෝත්තමයන් කෙරෙහිත් උන් වහන්සේලා විසින් ප්‍ර‍කාශිත ධර්මය කෙරෙහිත් ගෞරව පෙරදැරි කර ගෙන ඒ විමසීම කළ යුතු ය. එ සේ විමසන්නා වූ තැනැත්තා මුළා නොවේ. යම් කිසි කරුණක් තේරුම් ගැනීමට තමා ගේ නුවණ ප්‍ර‍මාණ නො වන තැන දී ඔහුට ඒ බව අවබෝධ වේ. නුවණ නො පොහොනා කරුණු පිළිබඳ මිථ්‍යා ලබ්ධි ඔහුට ඇති නොවේ. ශාස්තෘ ගෞරවයෙන් හා ධර්ම ගෞරවයෙන් තොර ව විචිකිත්සාව (සැකය) පෙරදැරි කර ගෙන සත්‍යාසත්‍යය සෙවීමේ අදහසින් ධර්මය විමසන්නා වූ තැනැත්තාට, යම් කිසි කරුණක් තේරුම් ගැනීමට තමා ගේ නුවණ ප්‍ර‍මාණ නො වන කල්හි ඒ බව ඔහුට නො දැනේ. හේ නො මග ගොස් මිථ්‍යා ලබ්ධි ඇති කර ගනී. සමහරු එ පමණින් ද නො නැවතී බුදු වරුන්ට රහතුන්ට නින්දා කරන, ධර්මයට නින්දා කරන, ධර්මය අවලංගු කරන්නට තැත් කරන අය වෙති. එය ඔවුනට පමණක් නො ව ලෝ සසුන් දෙකට ද මහත් අනර්ථයකි. කරුණු මෙසේ හෙයින් විමසීම යහපත් වුවත් එය පරෙස්සමින් කරත්වා!

සත්‍ය වූ හෝ අසත්‍ය වූ හෝ කවර ලබ්ධියක මුත් පිහිටා විමසන්නා වූ තැනැත්තා හට ද තමා ගත් ලබ්ධිය සත්‍ය බවට අනේක හේතු යුක්ති පෙනෙන්නේ ය. ආත්මයක් ඇතැ යි ගත් තැනැත්තාට එය සත්‍ය බවට අනේක හේතු යුක්ති පෙනේ. ආත්මයක් නැතැයි ගන්නහුට ද එය සත්‍ය බවට එසේ ම බොහෝ හේතු යුක්ති ලැබේ. ලෝකයේ මැවුම්කරුවකු ඇතැ යි ගන්නහුට ද එසේ ම බොහෝ හේතු යුක්ති ලැබේ. නැතැ යි ගන්නහුට ද බොහෝ හේතු යුක්ති ලැබේ. එසේ ම පින් පව් ඇතැ යි ගන්නවුන්ට ද නැතැ යි ගන්නවුන්ට ද, නැවත ඉපදීමක් ඇතැ යි ගන්නවුන්ට ද, නැතැ යි ගන්නවුන්ට ද තම තමා ගත් ලබ්ධිය සත්‍ය බවට බොහෝ හේතු යුක්ති ලැබෙන්නේ ය.

ගැඹුරු කරුණු ය දුරවබෝධ කරුණු යැ යි කියනු ලබන්නේ පහදා ගැනීමට උපකාර වන හේතු යුක්ති දුර්ලභ කරුණුවලට ය. ගැඹුරු කරුණුවල දී සත්‍යය පහදා ගැනීමට උපකාර වන හේතු යුක්ති දුර්ලභ බැවින් ගැඹුරු කරුණක් ඇති සැටියට ම ගෙන එය වැඩි දුරටත් විමසන්නා වූ තැනැත්තා හට එය පහදා ගැනීමට ලැබෙන්නේ හේතු යුක්ති ස්වල්පයකි. එබඳු කරුණක් වරදවා තේරුම් ගෙන වැඩි දුරටත් එය විමසන්නකුට තමා ගත් වැරදි ආකාරය ම සත්‍යය බවට ලැබෙන හේතු යුක්ති ඉතා බොහෝ වන්නේ ය. ඒවා එයට හේතු සැටියට ඔහුට පෙනුනත් සත්‍ය හේතූන් නො වෙති. යම් කිසි සිද්ධියකට සත්‍ය හේතු නො වී, සත්‍ය හේතූන් සේ පෙනෙන කරුණුවලට ප්‍ර‍තිරූපක හේතු යැයි කියනු ලැබේ. මිථ්‍යා ලබ්ධියක් ගෙන එය විමසන්නා වූ තැනැත්තා තමාගේ ඒ ලබ්ධිය සත්‍ය බවට බොහෝ ප්‍ර‍තිරූපක හේතූන් දක්නේ ය. ඒවායින් හෙතෙම වැඩි දුරටත් රැවටෙන්නේ ය. “විමසීමේ ආකාරයෙන් ප්‍ර‍තිරූපක හේතූන් ගැනීමෙන් මිථ්‍යා දෘෂ්ටිය වඤ්චා කරන්නේ යැ” යි කියන ලදුයේ එ හෙයිනි.

10. විරත්තතා පතිරූපකෙන සත්තෙසු අදයාපන්නතා වඤ්චෙති

විරක්තතාවේ ආකාරයෙන් සත්ත්වයන් කෙරෙහි කරුණා විරහිත බව වඤ්චා කෙරේ.

විරක්තතා යනු අඹු දරු නෑ මිතුරන් ආදීන්ට ඇලුම් නොකරන ස්වභාවය යි. ඒ ඇලුම් නො කිරීම ද නෛෂ්කාම්‍යාධ්‍යාශයෙන් ඇලුම් නො කිරීමය, අකරුණාව නිසා ඇලුම් නො කිරීම යැයි දෙවැදෑරුම් වේ. දරුවන් හා වනයට ගිය මවකට වල් ඇත් මුළක් මුණ ගැසුණු කල්හි දරුවන් ගැන අපමණ කරුණාව ඇතත් ඔවුන් හැර සිය දිවි ගලවා ගනු පිණිස පලා යන්නාක් මෙන් අඹු දරු ආදී අන්‍යයන් කෙරෙහි කරුණාව ඇත ද සංසාර භය දැක ඔවුන් හා වෙසෙමින් ඉන් නො මිදිය හැකි බැවින් සසර දුකින් මිදෙනු පිණිස අපා දුකින් මිදෙනු පිණිස අඹු දරුවන් නෑ මිතුරන් හැර පැවිදි වන්නා වූ ද, තපසට යන්නා වූද, විවේකස්ථානයකට එළඹ සමථ විදර්ශනා භාවනාවන්හි යෙදෙන්නා වූද, සත්පුරුෂයාගේ අන්‍යයන් ගැන අනපේක්ෂාව වූ අන්‍යයන්ට ඇලුම් නොකිරීම වූ විරක්තතාව නෛෂ්කාම්‍ය පාරමිතාවට අයත් වූ කුශල විරක්තතාවකි. අන්‍යයන්ට කුමක් වුවත් කම් නැතැයි තමාගේ සුව පහසුව ම තමාගේ වාසිය ම බලන අකාරුණිකයාගේ අන්‍යයන් ගැන අනපේක්ෂාව සූක්ෂ්ම ද්වේෂයම වූ බැවින් අකුශලයකි. සමහර විට ඒ අකුශල විරක්තතාව ම නෛෂ්කාම්‍ය සංඛ්‍යාත කුශල විරක්තතාවේ වේශයෙන් පහළ වන්නේ ය. එයට රැවටුණ තැනැත්තේ තමාගේ ඒ අකාරුණිකතාව ම ගුණයක් කොට ගෙන හැසිරෙන්නේ ය.

11. අනුඤ්ඤාත පටිසෙවන පතිරූපතාය කාමසුඛල්ලිකානුයෝගෝ වඤ්චෙති

අනුදත් දෙය පරිභෝග කිරීමේ වේශයෙන් කාමසුඛල්ලිකානුයෝගය වඤ්චා කෙරේ.

තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂූනට සුව සේ මහණ දම් පිරිය හැකි වනු පිණිස චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලාන ප්‍ර‍ත්‍යය යයි සිවු පසයක් අනුදැන වදාරන ලදි. එය අනුදැන වදාළේ ප්‍ර‍මාණයෙන් යුක්තව ප්‍ර‍ත්‍යවේක්ෂා ඥානයෙන් යුක්තව පරිභෝග කිරීමට ය. ප්‍ර‍ණීත ප්‍ර‍ණීත ආහාර පාන වස්ත්‍ර‍සේනාසනාදිය රැස්කර ගෙන ප්‍ර‍ත්‍යවේක්ෂා ඥානයෙන් තොරව, පමණ ඉක්මවා ඒවා පරිභෝග කරමින් ප්‍රීති වන ස්වභාවය කාමසුඛල්ලිකානුයෝගයයි. ඒ කාමසුඛල්ලිකානුයෝග සංඛ්‍යාත තෘෂ්ණාව සමහර විට අනුදත් ප්‍රත්‍යය පරිභෝග කිරීමේ වේශයෙන් පහළ වන්නේ ය. එයට රැවටුණ භික්ෂු තෙමේ‍ ශීල පූරණ සමථ විදර්ශනා භාවනානුයෝගාදි ශ්‍ර‍මණ කෘත්‍යයන් හැරදමා, කැප වශයෙන් හෝ අකැප වශයෙන් හෝ ප්‍ර‍ණීත ප්‍ර‍ණීත ප්‍ර‍ත්‍යයන් සොයා ප්‍ර‍ත්‍යාවේක්ෂා ඥානයෙන් තොර ව ඒවා පරිභෝග කරමින් ප්‍රීති වී වාසය කොට මහණ කමින් ලැබිය යුතු ඵලය නො ලබන්නෙක් වන්නේ ය. සමහර විට ඒ නිසා ම හේ මරණින් මතු අපායට ද යන්නේ ය.

අනුදත් දෙය පරිභෝග කිරීමේ වේශයෙන් එන කාමසුඛල්ලිකානුයෝගයෙන් වඤ්චිත වූ ගිහියා ද “තථාගතයන් වහන්සේ ගිහියාට දැහැමින් ධනය සපයා ගෙන සුවසේ ජීවත් වන්නටත්, අඹු දරුවන් පෝෂණය කරන්නටත් අනුදැන වදාළේයැ” යි සුචරිතයෙහි හැසිරීමට දානාදී පින්කම් කිරීමට කල්පනා නො කොට පස්කම් සැප විඳීම ම ජීවිතයේ උසස් ම දෙය සැටියට සලකා ක්‍රියා කොට දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයෙන් හා සම්බුද්ධ ශාසනයෙන් ලැබිය යුතු උත්තම ඵලයට අහිමි වන්නේ ය. සමහර විට අපායට ද යන්නේ ය.

12. ආජීවපාරිසුද්ධි ප්‍ර‍තිරූපතාය අසංවිභාග සීලතා වඤ්චෙති

ආජීවපාරිශුද්ධියේ ආකාරයෙන් අන්‍යයන් හා බෙදා පරිභෝග නො කරන ස්වභාවය වඤ්චා කෙරේ.

භික්ෂූන් විසින් තමන් ලත් ආහාර පාන වස්ත්‍ර‍ භෛෂජ්‍යාදි ප්‍ර‍ත්‍යයන් නො ලැබූ අන්‍ය භික්ෂූන්ට දී බෙදා ගෙන පරිභෝග කිරීම ශාසන ධර්මය යි. තමන් ලත් දෙයින් ස්වල්පයකුදු අන්‍යයන්ට නොදී තමන් ම පරිභෝග කරන ස්වභාවය අසංවිභාගසීලතා නමි. ඒ අසත්පුරුෂ ස්වභාවය සමහරවිට ආජීව පාරිශුද්ධි කාමත්වයේ වේශය ගන්නේ ය. එයින් වඤ්චිත වූ භික්ෂු තෙමේ “අලජ්ජි දුශ්ශීලයන් හා ප්‍ර‍ත්‍ය බෙදා ගෙන පරිභෝග කිරීමෙන් තමාගේ ආජීව පාරිශුද්ධිය ද නැති වන්නේ යැ” යි කිසිවකුට කිසිවක් නො දෙන්නෙක් වන්නේ ය.

13. සංවිභාග සීලතා පතිරූපතාය මිච්ඡාජීවො වඤ්චෙති

අන්‍යයන් හා බෙදා වැළඳීමේ ආකාරයෙන් මිථ්‍යාජීවය වඤ්චා කෙරේ.

භික්ෂූන් විසින් තමන් ලත් ආහාර පාන වස්ත්‍ර‍ භෛෂජ්‍යාදි ප්‍ර‍ත්‍යයෙන් සංග්‍ර‍හ කිරීමට සුදුස්සෝ ද නුසුදුස්සෝ ද වෙති. තමන්ට සිවුපසය සපයන දායකයන්ට භික්ෂූන් විසින් ධර්මයෙන් මිස අන් වස්තුවකින් සංග්‍ර‍හ නො කළ යුතුය. සමහර භික්ෂූහු ගිහියන් සතුටු කොට ඔවුන් ගෙන් වඩ වඩා ලැබීමේ බලාපොරොත්තුවෙන් ඔවුනට ද ප්‍ර‍ත්‍යයෙන් සංග්‍ර‍හ කෙරෙති. එසේ කොට ලබන ප්‍ර‍ත්‍යයෙන් ජීවත් වීම මිථ්‍යා ජීවය යි. ඒ මිථ්‍යා ජීවය සමහරවිට සංවිභාගශීලතා නම් වූ ගුණ ධර්මයා ගේ වේශය ගන්නේ ය. එයින් වඤ්චිත වූ භික්ෂූහු පරෝපකාරයේ හා කරුණා මෛත්‍රීන්ගේ ද ත්‍යාගවත් බවගේ ද අනුසස් කියමින් තමන් විසින් ප්‍ර‍ත්‍යයෙන් සංග්‍ර‍හ කිරීම නුසුදුසු ගිහියන් හට ප්‍ර‍ත්‍යයෙන් සංග්‍ර‍හ කරමින් ඔවුන් මුළා කොට ඔවුන්ගේ ශ්‍ර‍ද්ධාව නැති කොට ඔවුන්ගේ පින්කම් කිලිටි කොට තුමූ ද අපාගත වෙති.

භික්ෂූන් විසින් ප්‍ර‍ත්‍යයෙන් සංග්‍ර‍හ කරනු ලබන ගිහියන් කෙරෙහි භික්ෂූන් ගැන සතුටක් ඇති වෙයි. සමහරු එය ශ්‍ර‍ද්ධාව යැ යි සිතත්. එය ශ්‍ර‍ද්ධාව නොව ශ්‍ර‍ද්ධා වේශයෙන් පැමිණෙන තෘෂ්ණාව හා එක් වූ ප්‍රීතියකි. එබඳු සතුටක් නම් තමන්ට උපකාර කරන සොරකු ගැන වුව ද ඇති වේ. යම්කිසි ගිහියකු විසින් තමාට හෝ තමාගේ දරුවකුට නෑයකුට තමාගේ ගමට රටට ජාතියට උපකාර කිරීම ගැන භික්ෂුව හට පැහැදී ඒ භික්ෂුවට සංග්‍ර‍හ කරනු ලැබුයේ ද දන් දෙනු ලදුයේ ද එයින් ඒ දායකයාට ලැබෙතහොත් ලැබෙන්නේ දුබල පිනකි. බෞද්ධ පොත්වල දැක්වෙන හැටියට සම්පූර්ණ අනුසස් ලැබිය හැකි පිනක් අත්පත් වන්නේ ශීල සමාධි ප්‍ර‍ඥා සංඛ්‍යාත ශ්‍ර‍මණ ගුණයන් ගැන පැහැදී භික්ෂූන්ට සත්කාර කරන දන් දෙන පින්වතුන්ට පමණෙකි.

14. අසංසග්ගවිහාරිතා පතිරූපතාය අසඞ්ගහසීලතා වඤ්චෙති

අමිශ්‍ර‍ ව වාසය කරන ස්වභාවයාගේ ආකාරයෙන් සංග්‍ර‍හ නොකරන ස්වභාවය වඤ්චා කෙරේ.

තමන් වෙත පැමිණෙන ගිහියන් හා රාජ කථාදි තිරශ්චීන කථා කීම කෙළිකවටකම් කිරීම යන ආදියෙන් මිත්‍ර‍ ඔවුන් හා මිශ්‍ර‍ව වාසය නො කරන බව අසංසග්ග විහාරිතා නමි. එය ශ්‍ර‍මණ ගුණයකි. “ගිහියන් හා අමිශ්‍ර‍ව වාසය කරමි” යි තමන් වෙත පැමිණෙන ගිහියන් හා පිළිසඳර කථා මාත්‍ර‍යකුදු නො කොට, ඔවුනට ධර්මයෙන් අනුශාසනා නො කොට, වාසය කරන ස්වභාවය වූ අසංග්‍ර‍හශීලතාව ද භික්ෂුවකට නුසුදුසු ය. තමන් වෙත පැමිණෙන ගිහියනට භික්ෂුව විසින් ප්‍රිය වචනයෙන් ද ධර්මයෙන් ද සංග්‍ර‍හ කළ යුතුය. ආත්මාර්ථය පමණක් බලන තැනැත්තා ගේ ස්වභාවයක් වූ ඒ අසංග්‍ර‍හ ශීලතාව සමහර භික්ෂුවක ගේ සිතට අසංසර්ග ශීලතාවේ ආකාරයෙන් එළඹ සිටිය හැකි ය. බොහෝ සෙයින් මෙය සිදුවන්නේ ගිහියන් හා මිත්‍ර‍වීමට මං සොයමින් වෙසෙන ලාභකාමී භික්ෂූන්ට නොව, සැදැහැයෙන් මහණදම් පුරන භික්ෂූන්ට ය. මෙබඳු දේ සිදු නොවීමට නුවණින් යුක්ත විය යුතුය.

15. සංගහසීලතා පතිරූපතාය අනනුලොමිකසංසග්ගෝ වඤ්චෙති

සංග්‍ර‍හ කරන ස්වභාවයා ගේ ආකාරයෙන් අනනුලෝමික සංසර්ගය වඤ්චා කෙරේ.

තමා වෙත පැමිණෙන ගිහියනට ධර්මයෙන් සංග්‍ර‍හ කිරීමත්, විනයෙහි නියමිත සුදුස්සන්ට ආමිෂයෙන් වුව ද සංග්‍ර‍හ කිරීමත්, සැම දෙනා පිළිබඳව ම මෛත්‍රී සහගත ක්‍රියා පැවැත්වීමත්, අනුකම්පා කළයුත්තන්ට අනුකම්පා කිරීමත් ශ්‍ර‍මණ ගුණයෝ ය. ඒ ගුණයන්හි පිහිටා ජනයන්ට සුදුසු පරිදි සංග්‍ර‍හ කරන බව සංග්‍ර‍හශීලතා නමි. පමණ ඉක්මවා ගිහියන් හා මිත්‍ර‍වී භික්ෂුවකට නුසුදුසු පරිදි ඔවුන් හා මිශ්‍ර‍ බවට පැමිණීම “ අනනුලෝමික සංසර්ග” නමි. ඇතැම් භික්ෂූන් කෙරෙහි ඇති ගිහියන් හා මිශ්‍ර‍ වීමේ ආශාව සමහර විට සංග්‍ර‍හ ශීලතාවේ වේශයෙන් ඔවුන් කෙරෙහි පහළ වේ. එයින් රැවටුණු භික්ෂූහු සංග්‍ර‍හ කිරීමේ ආකාරයෙන් අනනුලෝමික සංසර්ගයට පැමිණෙති.

ඇතැම් භික්ෂූහු පොහොසතකු හෝ පොහොසත් දරුවකු දුට හොත් ඔවුනට බෝධිසත්ව කරුණාව දක්වති. දුගියකු මගියකු යාචකයකු විපතට පත්වූවකු උපකාරයක් සොයා පැමිණිය හොත් රවා ගොරවා අසරණයා පලවා හරිති. සතුටු කර ගත හොත් ලාභයක් ලැබිය හැකි සේ පෙනෙන පොහොසතකු තමා කරා පැමිණිය හොත් මහා මෛත්‍රියක් දක්වා සිනාපාමින් පිළිගෙන පිළිසඳර කථා කොට, ඔහු පස්සේ ගොස් දාසයකු සේ ඔහු කියන හැම දෙයක් ම කර දෙති. ආගම නොදත් උඩඟු බෞද්ධයෝ ද ඒ ලාමක අදහස් ඇති භික්ෂූන්ගේ (පුච්ඡඤ්ජිකතාවට) නඟුට වනන ගතියට රැවටී “අනේ හාමුදුරුවෝ කොපමණ හොඳද, කොපමණ කරුණාවත් ද, අපට සැලකුවාදැ” යි ප්‍ර‍ශංසා කරති. උසස් අදහස් ඇති, නඟුට වනන ස්වභාවය නැති භික්ෂූන්ට නින්දා කරති.

16. සච්චවාදිතා පතිරූපතාය පිසුනාවාචතා වඤ්චෙති

සත්‍යවාදිත්වයේ ආකාරයෙන් කේලාම් කියන බව වඤ්චා කෙරේ.

සත්‍යයක් හෝ වේවා අසත්‍යයක් හෝ වේවා අන්‍යයන් ඔවුනොවුන් කෙරෙහි බිඳීමට හේතු වන දෙයක් බිඳවීමේ අදහසින් කීම “කේලාම් කීම” නම් වේ. නුවණ මඳ වූ සමහරුන්ට කේලාම් කීමේ කැමැත්ත සත්‍යවාදීත්වයේ වේශයෙන් එළඹ සිටින්නේ ය. එයට රැවටුණා වූ ඔවුහු සත්‍යය කියමි යි කේලාම් කියා ඔවුනොවුන් බිඳුවති.

17. අපිසුණවාදිතා පතිරූපතාය අනත්ථකාමතා වඤ්චෙති

කේලාම් නොකියන බවගේ ආකාරයෙන් අනර්ථකාමතාව වඤ්චා කෙරේ.

කේලාම් කීමේ පාපය වනුයේ බිඳවීමේ අදහසින් එකකු පිළිබඳ කරුණක් අනෙකකුට කීමෙනි. කෙනකු පිළිබඳ කරුණක් තවත් කෙනකුගේ යහපත සලකා ගෙන කීම වරදක් නොවේ. කෙනකු තවත් කෙනකුට නපුරක් කරන්නට යන බව තමා දැනගත හොත් එයින් මිදීම පිණිස අනෙකාට හිතාධ්‍යාශයෙන් ඒ බව දැන්වීම සත්පුරුෂ ධර්මයකි. එබඳු කරුණුවලදී කේලාම් කීමෙන් වැළකෙමි යි සිතා තුෂ්ණිම්භූත නොවී ඒ බව අනෙකාට දැන්විය යුතුය. “අනුන්ට කුමන විපතක් වුවත් එයින් මට කම් නැතැ” යි යන අදහස හා අනුන් විපතට පත්වනු දක්නට කැමති බව ද සමහරුන්ගේ සන්තානයෙහි ඔවුන්ට නොදැනෙන තරමට සියුම් ලෙසට අනුශය ධාතුවක් වී පවතී. නවීන විද්‍යාධරයෝ එය උපචිත්ත යැයි කියති. අභිධර්මය නොදන්නෝ එය භවාංගචිත්ත යැයි ද කියති. අනුශය ධාතුවක් වශයෙන් පවත්නා ඒ අනර්ථකාමතාව සමහර විට සමහර කෙනකුගේ සිත්හි කේලාම් කීමෙන් වළකිනු කැමති බවගේ ආකාරයෙන් නැගී සිටින්නේ ය. එය රැවටුණු තැනැත්තේ තමාගේ ඒ අගුණය ම ගුණයක් කොට ගෙන කේලාම් කීමෙන් වැළකෙමි යි අනුන් විපතට පත්වන්නට හැර තුෂ්ණිම්භූත වන්නේ ය.

18. පියවාදිතා පතිරූපතාය චාටුකම්‍යතා වඤ්චෙති

ප්‍රියවාදිත්වයේ ආකාරයෙන් චාටුකම්‍යතාව වඤ්චා කෙරේ.

අන්‍යයන්ගේ සිත් නො රිදෙන ලෙසට ඒ ඒ තැනැත්තාගේ තත්ත්වයේ සැටියට යහපත් වචනවලින් කථා කරන ස්වභාවය ප්‍රිය වාදිතා නමි. භික්ෂූන් විසින් ද කථා කළ යුත්තේ ප්‍රිය වචනයෙනි. ප්‍රිය වචනයෙන් කථා කරන බව ශ්‍ර‍මණ ගුණයකි. ගිහියා උසස් තන්හි තබා තමා පහත් තන්හි තබා ඔහුගේ සිත ගැනීම පිණිස කථා කරන ස්වභාවය “චාටුකම්‍යතා” නමි. මේ චාටුකම්‍යතාව ම සමහර විට සමහර භික්ෂුවකගේ සිත්හි ප්‍රියවාදිත්වයේ වේශයේ නැගී සිටින්නේ ය. එයට රැවටුණ භික්ෂු තෙමේ ප්‍රිය වචනයෙන් කථා කළ යුතු යැයි දායකයා උසස් කොට තමා පහත් තන්හි තබා ලාමක ලෙස කථා කරන්නෙක් වන්නේ ය.

19. මිතභාණතා පතිරූපතාය අසම්මෝදන සීලතා වඤ්චෙති

ප්‍ර‍මාණයෙන් යුක්ත ව කථා කරන ස්වභාවයා ගේ ආකාරයෙන් අන්‍යයන් හා සතුටු නො වන ස්වභාවය වඤ්චා කෙරේ.

පමණ ඉක්මවා ප්‍රයෝජනයක් නැති ව කථා කරන තැනැත්තේ තමාගේ හා අනුන්ගේ ද වැඩ නසන්නෙකි. දිගින් දිගට වැඩකට නැති කතා නො කොට වුවමනා පමණට පමණක් කථා කරන ස්වභාවය “මිතභාණිතා” නමි. එය ගුණයකි. තමා කරා අමුත්තකු පැමිණිය හොත් විශේෂ ප්‍රයෝජනයක් නැත ද සුවදුක් විචාරීම් ආදී වශයෙන් පැමිණි තැනැත්තාගේ සිත සතුටු වන කථාවක් කිරීම සත්පුරුෂ ගුණයකි. අනුන් හා සතුටු වීමට මෛත්‍රිය පැවැත්වීමට නො කැමති බව අසම්මෝදනා සීලතා නමි. එය දුර්ගුණයකි. සමහර විට මිතභාණිතාවේ ආකාරය ගෙන එය පහළ වන්නේ ය. එයට රැවටුණු තැනැත්තේ “ප්‍රයෝජනයක් නැතිව කථා නොකරමි” යි කියා තමා වෙත පැමිණෙන්නවුන් හා පිළිසඳර කථාවකුදු නො කරන්නකු වීමෙන් අන්‍යයන්ට අප්‍රිය වූ අන්‍යයන් විසින් වර්ජනය කරන පුද්ගලයෙක් වන්නේ ය.

20. සම්මෝදන සීලතා පතිරූපතාය මායා සාඨෙයඤ්ච වඤ්චෙති

අන්‍යයන් හා සතුටුවන ස්වභාවයාගේ ආකාරයෙන් මායාව හා සාඨෙය (සාඨෙය්‍යය) වඤ්චා කෙරේ.

තමාගේ නුගුණ සඟවන ස්වභාවය මායා නමි. නැති ගුණ ඇති සේ පවසන ස්වභාවය සාඨෙය නමි. ප්‍රිය වචනයෙන් කථා කොට තමා වෙත පැමිණෙන්නවුන් හා සතුටු වන ස්වභාවය සම්මෝදන සීලතා නමි. සමහර විට මායාසාඨෙය්‍යයෝ සම්මෝදන සීලතාවේ ආකාරයෙන් ද සිත්හි පහළ වෙති. එයට රැවටුණු තැනැත්තේ අන්‍යයන් හා සතුටු වීමට කථා කරන්නා වූ ආකාරයෙන් තමන්ගේ අගුණ සඟවන්නා වූ ද නැති ගුණ දක්වන්නා වූ ද කථා කෙරෙති. තමාගේ වරද සැඟවීමට කථා කරන්නා වූ බොහෝ දෙන එම වරද කළ ඒ අගුණය ඇති අන්‍යයන් ගැන කථා කරති. අන්‍යයන් ඒ වරද කිරීම ගැන සංවේගය පවසති. ඒ කථාව අසා ගෙන සිටින තැනැත්තා හට මොහු නම් ඒ වරද නොකරන ඒ අගුණය නැති කෙනකැයි සිතේ. නැති ගුණ දැක්වීම සඳහා කථා කරන්නෝ ද සමහරවිට ඒ ගුණ තමන් කෙරෙහි ඇති බව සෘජුව ම කියති. සමහර විට තමන් කළ ඒ ගුණය ඇති සේ හැ‍‍ෙඟන්නට අන්‍යයන් කෙරෙහි ඒ ගුණයන් නැති බැව්හි පාඩුව පවසති.

21. නිග්ගහවාදිතා පතිරූපතාය ඵරුසවාචතා වඤ්චෙති

නිග්‍ර‍හවාදිතාවේ ආකාරයෙන් පරුෂවාචතාව වඤ්චා කෙරේ.

වරදක් කළවිට හෝ කළ යුත්ත නොකරන කල්හි හෝ වරද කිරීම ගැනත් කළයුත්ත නො කිරීම ගැනත් ශිෂ්‍යාදීනට නිග්‍ර‍හ මුඛයෙන් අවවාදානුශාසනා කරන ස්වභාවය නිග්ගහවාදිතා නමි. පරුෂ වචන කියනු කැමති බවද සමහරවිට සමහරුන්ගේ සිත්හි නිග්‍ර‍වාදිතාවේ ආකාරය ගෙන පහළ වේ. එයට රැවටුණා වූ ගුරුවරු ශිෂ්‍යයනට ද, මා පියවරු දරුවනට ද අවවාදානුශාසනා කිරීමේ ආකාරයෙන් පරුෂ වචන කියන්නාහුය. ඒ බැනුම ශිෂ්‍යාදීනට අප්‍රිය බැවින් ශිෂ්‍යාදීහු ද ඔවුන්ගේ ඒ පරුෂ අනුශාසනා නො පිළිගනිති.

22. පාපගරහිතා පතිරූපතාය පරවජ්ජානුපස්සිතා වඤ්චෙති

පාපයට ගර්හා කරන ස්වභාවයා ගේ ආකාරයෙන් අනුන්ගේ වරද සොයන ස්වභාවය වඤ්චා කෙරේ.

පාපයෙහි දොස් දක්වා කථා කිරීම පාප ගර්හාවය. එය පාපයට හෝ පාප කාරීන්ට හෝ ද්වේෂ කිරීමක් නොවේ. පාප ගර්හාව බුද්ධාදි උත්තමයන් විසිනුදු කරන්නකි. සමහරු අනුන්ගේ පව්වලටත් පව් කරන්නවුන්ටත් ද්වේෂ කොට තුමූ ද පව් සිදුකර ගනිති. අනුන්ට හා අනුන්ගේ වැඩවලට ද්වේෂ කොට තමන්ගේ සිත් රිදවා ගනිති. එය අනුවණ කමෙකි. සමහරු අනුන්ගේ වරද සොයා අනුන්ට දොස් කීමට, නින්දා කිරීමට ඉතා කැමැත්තෝ ය. අනුන්ට ගර්හා කිරීම පාපයක් බව පිළිගන්නා ඔවුන් තුළ ඒ අනුන්ට ගර්හා කිරීමේ කැමැත්ත, අනුන්ගේ වරද දැකීමේ කැමැත්ත සමහර විට පාප ගර්හා කාමත්වයේ වේශයෙන් සිටින්නේ ය. එයින් වඤ්චිත වූවෝ පාපයට ගර්හා කිරීමේ ආකාරයෙන් ඒ ඒ පුද්ගලයන්ට ගර්හා කරන්නාහුය.

23. කුලානුද්දයතා පතිරූපතාය කුලමච්ඡරියං වඤ්චෙති

කුලයන්ට අනුකම්පා කිරීමේ ආකාරයෙන් කුලමාත්සර්‍ය්‍ය වඤ්චා කෙරේ.

බඹරා විසින් මල නොතලා එහි රොන් ගන්නාක් මෙන් පැවිද්දා විසින් ද ගිහියන් නො පෙළා ඔවුන් කෙරෙහි අනුකම්පාව පෙරදැරි කරගෙන ඔවුන්ගෙන් සිව්පසය ලබා ගත යුතුය. තමා සිව් පසය ලබන තමාට උපකාර කරන දායකයාගෙන් අන්‍ය භික්ෂුවක් සිව්පසය ලබනු නො ඉවසිය හැකි බව කුල මාත්සර්‍ය්‍ය නමි. සමහර විට මේ කුලමාත්සර්‍ය්‍යය සමහර භික්ෂුවක් තුළ කුලයන්ට අනුකම්පා කිරීමේ වේශයෙන් පහළ වේ. එයට රැවටුණු භික්ෂු තෙමේ ගිහියනට අනුකම්පා කිරීමේ ආකාරයෙන් තමාගේ දායකයාගෙන් අන්‍ය භික්ෂූන් සිව්පසය ලබනු වළකන්නට උත්සාහ කෙරේ.

ඇතැම් භික්ෂූහු තමන්ගේ විහාරයේ දායකයකු වශයෙන් සලකන කෙනකු ඔහුගේ පැහැදීමේ සැටියට අන් විහාරයක වෙසෙන භික්ෂූන් වැඩම කරවා ඒ භික්ෂූන්ට පූජාවක් කළහොත් දණ්ඩෙන් ගසනු ලැබූ සපුන් සේ එයට කිපෙති. සමහර විට ඒ භික්ෂූහු තමන්ගේ සහචරයන් ලවා ඒ පින්කම කළ දායකයාට කරදර ද කරවති. එයට ගිය භික්ෂූන්ට නොයෙක් සැටියට අපහාස කරති. කරවති. එය භික්ෂූත්වයට නොගැලපෙන නින්දනීය ක්‍රියාවකි. තමන්ගේ කැමැත්තේ සැටියට කැමති කෙනකුට තමා අයත් දෙය දීමේ නිදහස සැම දෙනාට ම තිබේ. එයට බාධා කර අනුන් ලවා බලයෙන් තමන්ට දන් දෙවා ගැනීම ඉතා අමනෝඥය.

24. ආවාස චිරට්ඨිති කාමතා මුඛෙන ආවාසමච්ඡරියං වඤ්චෙති.

ආවාසයාගේ චිරස්ථිතිය කැමති බවගේ ආකාරයෙන් ආවාස මාත්සර්‍ය්‍යය වඤ්චා කෙරේ.

තමා යම් ආවාසයක, ආරාමයක වාසය කෙරේ නම් ඒ ස්ථානය ආරක්ෂා කිරීම ද භික්ෂුවගේ යුතු කමකි. තමන් වාසය කරන ආරාමයේ හෝ ආවාසයේ අන් භික්ෂුවක් වාසය කරනු නො ඉවසන බව ආවාස මාත්සර්‍ය්‍ය නමි. ඒ ආවාස මාත්සර්‍ය්‍යය සමහර විට ආවාසය චිර කාලයක් මැනවින් පවත්වනු කැමති බැව්හි ආකාරය ගන්නේය. එයින් වඤ්චිත භික්ෂු තෙමේ ආවාසය ආරක්ෂා කිරීමේ ආකාරයෙන් අන්‍ය භික්ෂූන්ට ඒ ආවාසයේ විසීමට ඉඩ නොදීමෙන් බාධා කරන්නේ ය.

25. ධම්මපරිඛන්ධ පරිහරණ මුඛෙන ධම්මමච්ඡරියං වඤ්චෙති.

ධර්මයට පැමිණෙන උවදුරු වැළැක්වීමේ ආකාරයෙන් ධර්මමාත්සර්‍ය්‍යය වඤ්චා කෙරේ.

තමා දත් ධර්මයන් තමා මෙන්ම අන්‍යයන් ද දැන ගැනීමට නො කැමැත්තෙන් ඒ ධර්මය සඟවන අන්‍යයන්ට නොදෙන නූගන්වන ස්වභාවය ධර්‍මමාත්සර්ය්‍යයයි. සමහරු ධර්මයට හානි කිරීමේ අදහසින් එහි දොස් දැක්වීමේ අදහසින් ධර්මය උගනිති. එබඳු විෂම පුද්ගලයන්හට තමා දත් ධර්මය කියා නොදීම ධර්ම මාත්සර්‍ය්‍යය නො වේ. එය ධර්මය ආරක්ෂා කිරීමකි. සමහරුන් කෙරෙහි සමහර විට ධර්මය ආරක්ෂා කරනු කැමති බැව්හි ආකාරයෙන් ඒ ධර්ම මාත්සර්‍ය්‍ය පහළ වේ.

26. ධම්මදෙසනාභිරතා මුඛෙන භස්සාරාමතා වඤ්චෙති.

දහම් දෙසීමට කැමති බවගේ ආකාරයෙන් කථාවට ලොල් බව වඤ්චා කෙරේ.

කතාවට ඇලුම් කරන ඇතැම් භික්ෂූහු තිරශ්චීන කතාවෙන් කාලය ගෙවති. ධර්ම කථාව බුදුන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දක් බැවින් සමහර විට කථාවට ඇලුම් කරන භික්ෂුවගේ ඒ ස්වභාවය ධර්ම දේශනාවට කැමති බව ගේ ආකාරය ගන්නේ ය. එයින් වඤ්චිත මහණ තෙමේ දහම් දෙසීමේ ආකාරයෙන් කථාවෙන් කල් යවන්නේ ය.

27. ගණානුග්ගහකරණතා මුඛෙන සඞ්ගණිකාරාමතා වඤ්චෙති.

ගණයාට අනුග්‍ර‍හ කරන බවගේ වේශයෙන් සමූහයෙහි ඇලෙන බව වඤ්චා කෙරේ.

අනුන්ට අනුග්‍ර‍හ කිරීම බුද්ධාදීන් විසින් වර්ණිත ගුණයකි. එහෙත් ඒ පරානුග්‍ර‍හය කළ යුත්තේ තමා නො පිරිහෙන ලෙසට ය. සමහර භික්ෂූහු පිරිස් පිරිවරාගෙන ඔවුන් හා සතුටුවෙමින් විසුමට ඉතා කැමැත්තෝ ය. ඔවුන් ගේ ඒ සඞ්ගණිකාරාමතාව සමහර විට ඔවුන් ගේ සන්තානවල අනුන්ට අනුග්‍ර‍හ කරනු කැමති බැව්හි වේශයෙන් පහළ වේ. එයට රැවටුණ භික්ෂූහු අවවාදානුශාසනා කිරීම් වශයෙන් අනුන්ට අනුග්‍ර‍හ කිරීමේ ආකාරයෙන් පිරිස පිරිවරා ගෙන ඔවුන් හා ප්‍රීති වෙමින් කාලය ගත කරන්නාහ. තමන් විසින් අවශ්‍යයෙන් ම කළයුතු ඉගෙනීම වත පිළිවෙත සමථ විදර්ශනා භාවනාව යනාදිය අතපසු කෙරෙති.

28. පුඤ්ඤකාමතා පතිරූපතාය කම්මාරාමතා වඤ්චෙති.

පින් කැමති බැව්හි ආකාරයෙන් කර්මාන්තයට ඇලුම් කරන බව වඤ්චා කෙරේ.

සඞ්ඝාවාස ප්‍ර‍තිමාගෘහ දහම් හල් ලිං පොකුණු ආදිය කිරීමටත් කරවීමටත් තවත් නොයෙක් කර්මාන්ත කිරීමටත් කරවීමටත් කැමති බව කම්මාරාමතා නමි. ඇතැම්හු උත්පත්තියෙන් ම ඒ වැඩවලට ඉතා කැමැත්තෝ ය. ඒ කර්මාන්තයෙහි ඇල්ම ගිහි ජීවිතයට නම් යහපති. ශ්‍ර‍මණ ජීවිතයට එය යහපත් නොවේ. භික්ෂුවක ගේ ප්‍ර‍ධාන කෘත්‍යය වනුයේ සිල් රැකීම, ධර්මය ඉගෙනීම, ධර්මය ගැන සිතීම, විමසීම, දහම් දෙසීම, භාවනා කිරීම යන මේවා ය. භික්ෂූන් විසින් කර්මාන්ත කරවීමේ යෙදිය යුත්තේ තමන් ගේ ප්‍ර‍ධාන කෘත්‍යයන් නො පිරිහෙන ලෙස එක්තරා ප්‍රමාණයකට ය. සමථ විදර්ශනා භාවනාදියට ඇලුම් නො කරන කර්මාන්තයන්ට ඇලුම් කරන භික්ෂූන් ගේ ඒ ස්වභාවය සමහර විට ඔවුන් කෙරෙහි පින් කරනු කැමැති බවෙහි ආකාරයෙන් පහළ වේ. පින්, ශ්‍ර‍මණයන් විසින් ද කළ යුතු බැවින් එයට ඔවුහු රැවටෙති. රැවටුණා වූ ඔවුහු මහණ දම් පිරීම අමතක කොට පින් කරමුයි කර්මාන්තයෙහි ම යෙදෙන්නට වන්නාහ. එයින් ඔවුහු ශ්‍ර‍මණ ධර්මයෙන් පිරිහෙති. සුදුසු කර්මාන්ත කිරීම කරවීම භික්ෂූන්ට ද අයෝග්‍ය නොවේ. ඒවා කළ යුත්තේ ශ්‍ර‍මණ ධර්මය නො පිරිහෙන ලෙසට ය.

29. සංවේග පතිරූපෙන චිත්තසන්තාපෝ වඤ්චෙති.

සංවේගයා ගේ ආකාරයෙන් චිත්ත සන්තාපය වඤ්චා කෙරේ.

ලෝකයේ ඇත්තා වූ දුඃඛය භයාකාරයෙන් දක්නා ඥානය සංවේග නමි. තමාට හෝ තමාගේ හිතවතකුට හෝ දුඃඛය පැමිණි කල්හි ද මතු දුකක් පැමිණෙන ලකුණු දුටු කල්හි ද මනුෂ්‍යයාට ඇතිවන දෙය චිත්ත සන්තාපය යි. සංවේගය චිත්ත සන්තාපය යන මොහු තරමකට සමාන ස්වභාව දෙකකි. එහි වෙනස මෙසේ දත යුතු. සංවේගය කිසි කලෙක ද්වේෂ සහගත නොවේ. එය කුශල පක්ෂය හා අව්‍යාකෘත පක්ෂය භජනය කරන්නකි. චිත්ත සන්තාපය ද්වේෂය හෝ ද්වේෂ සහගත ධර්මයක් හෝ වෙයි. එය සැම කල්හි ම අකුශල පක්ෂය භජනය කරන්නකි. තමා හා කිසි සම්බන්ධයක් නැති මධ්‍යස්ථ කෙනකුගේ දුඃඛය දක්නා කල්හි ලෝකයේ සැටි මෙසේ යැ යි සිත්හි ඇති වන්නා වූ කලකිරීම සංවේගයයි. ඒ දුක පැමිණි තැනැත්තා තමා විසින් ඇලුම් කරන්නකු වී නම් ඒ අවස්ථාවේදී ඔහු සම්බන්ධයෙන් ඇති වන්නේ චිත්ත සන්තාපයයි. චිත්තසන්තාපය නිෂ්ප්‍රයෝජන දෙයකි. සංවේගය දුකින් මිදීමට කරුණු වන්නකි. චිත්ත සන්තාපය උත්සාහයෙන් දුරු කළ යුත්තකි. සංවේගය උත්සාහ කොට වුවද ඇති කරගත යුත්තකි. චිත්ත සන්තාපය ම සමහර විට සංවේගයේ වේශයෙන් පහළ වේ. එයට රැවටුණු තැනැත්තේ ඒ අකුශලය කුශලයෙකැයි වඩන්නේය.

30. සද්ධාලුතා පතිරූපතාය අපරිත්ඛතා වඤ්චෙති.

ශ්‍ර‍ද්ධා බහුල භාවයාගේ ආකාරයෙන් අපරික්ෂකතාව වඤ්චා කෙරේ.

සිල්වතුන් ගුණවතුන් දකිනු කැමති බව, ඇසුරු කරනු කැමති බව, දහම් අසනු කැමති බව, සිල්වත්නට සත්කාර කරනු කැමති බව, දෙනු කැමති බව, ශ්‍ර‍ද්ධා බහුලයාගේ ලක්ෂණයෝ ය. සිල්වත් ගුණවත් බවක් නැත ද සිල්වතුන් ගුණවතුන් සේ පෙනී සිටින්නෝ ද ලොව සුලබය. ඔවුන් ගැන පැහැදීම ශ්‍ර‍ද්ධාව නොව මුළාවය. සමහරු කිසි පරීක්ෂාවක් නැති ව සිල්වතුන්ගේ වේශයෙන් හැසිරෙන සැමට ම පැහැදී සත්කාර කරති. ඔවුන්ගේ ඒ අපරීක්ෂකතාව සමහරවිට ශ්‍ර‍ද්ධා බහුලතාවයෙහි ආකාරය ගන්නේය. එයින් වඤ්චිත වූ තැනැත්තේ අපට කාගේවත් වග සෙවීමට වුවමනාවක් නැතැයි පරීක්ෂා නො කොට නො පැහැදිය යුත්තාට ද පහදින්නේය. නො වැන්ද යුත්තාට ද වඳින්නේ ය. නො පිදිය යුත්තාට ද පුදන්නේය.

31. වීමංසනා පතිරූපෙන අස්සද්ධියං වඤ්චෙති.

විමසීමේ ආකාරයෙන් ශ්‍ර‍ද්ධාව නැති බව වඤ්චා කෙරේ.

සිල්වත් ගුණවත් තැනැත්තන්ට ගරු බුහුමන් නො කරනු කැමති බව, සිල්වතුන් ගුණවතුන් අප්‍රියබව ශ්‍ර‍ද්ධාව නැත්වුන්ගේ ලක්ෂණයෝය. සමහර විට ඒ අශ්‍ර‍ද්ධාවත් බව විමසන ස්වභාවයාගේ ආකාරය ගන්නේය. එයට රැවටුණ තැනැත්තේ සිල්වතුන් සේ වෙසෙන අය රටේ ඇතත් නොවිමසා ඔවුන්ට සලකන්නේ කෙසේදැයි කිසි පිනක් නොකරන්නේය. විමසීමට ම ඔහුගේ කාලය ක්ෂය වන්නේය.

32. අත්තාධිපතෙය්‍යතා පතිරූපෙන ගරූනං අනුසාසනියා අප්පදක්ඛිණග්ගාහිතා වඤ්චෙති.

ආත්මාධිපත්‍යයේ ආකාරයෙන් ගුරුන්ගේ අනුශාසනාව නොපිළිගන්නා ස්වභාව වඤ්චා කෙරේ.

අනුන් කියන සැම දෙයක් ම නො විමසා පිළිගැනීමත්, නො විමසා අනුන් කියන දෙයට අනුකූලවීමත්, ඒ අනුව ක්‍රියා කිරීමත් පරිහානියට කරුණුය. අනුන් කී පමණින් ම යමක් නොපිළිගෙන තමාගේ නුවණින් විමසා ගත යුත්ත ගන්නාවූ ද, නොගත යුත්ත බැහැර කරන්නවූද, අනුකූල විය යුත්තාට අනුකූල වන්නා වූ ද, අනුකූල නොවිය යුත්තට අනුකූල නොවන්නා වූ ද ස්වභාවය ආත්මාධිපතිතා නමි. එය කෙනකුගේ දෙලෝ දියුණුවට කරුණක් වන උතුම් ගුණයකි. තමා නොදත් දේ බොහෝ ඇතත් සියල්ලම තමා දන්නේ යැයි සිතා, අනුන් කියන සියල්ල ම නොවිමසා ප්‍ර‍තික්ෂේප කරන, උතුමන්ට ගරු නොකරන අවනත නොවන ස්වභාවයක් සමහරුන්ට තිබේ. පරිහානියට කරුණක් වූ ඒ ගුරුන්ගේ වැඩිමහල්ලන්ගේ අනුශාසනාව නොපිළිගන්නා ස්වභාවය වූ ද, නොනැමෙන ස්වභාවය වූ ද, අතිමානය හා ථම්භය, සමහර විට ආත්මාධිපතිතා වේශය ගන්නේ ය. එයින් වඤ්චිත තැනැත්තේ මා පිය ගුරුවරාදි හිතවතුන්ගේ අනුශාසනාවන්ට පිටිපා ක්‍රියා කරන්නෙක් වන්නේය‍.

33. ධම්මාධිපතෙය්‍යතා පතිරූපෙන සබ්‍ර‍හ්මචාරිසු අගාරවං වඤ්චෙති.

ධර්මාධිපත්‍යතාවේ වේශයෙන් සබ්‍ර‍හ්මචාරීන් කෙරෙහි ගෞරවයක් නැති බව වඤ්චා කෙරේ.

ශීලය පිරිසිදු කිරීම ධර්මය උගෙනීම භාවනාවේ යෙදීම යන ආදිය අන් සැම දෙයකට ම වඩා ආදරයෙන් ගෞරවයෙන් කරන ස්වභාවය ධර්මාධිපත්‍යතා නමි. එය උතුම් ගුණයකි. සමහර විට මේ ගුණයේ ආකාරයෙන් සබ්‍ර‍හ්මචාරීන්ට (අන්‍ය භික්ෂූන්ට) ගරු නොකරන ස්වභාවය වූ මානය, ධර්මයට ප්‍ර‍තිපත්තියට ගරු කර ගෙන වෙසෙන භික්ෂුව තුළ පහළ වේ. එයින් වඤ්චිත තැනැත්තේ තමා විසින් අවශ්‍යයෙන් ම සහභාගි විය යුතු වූ සඞ්ඝ කර්මාදි සබ්‍ර‍හ්මචාරීන්ගේ කටයුතු වලට සහභාගි නොවන පුද්ගලයෙක්, සබ්‍ර‍හ්මචාරීන් ගැන සැලකිල්ලක් නොකරන පුද්ගලයෙක් වන්නේ ය.

34. ලොකාධිපතෙය්‍යතා පතිරූපෙන අත්තනි ධම්මේ ච පරිභවො වඤ්චෙති.

ලෝකයට අනුකූල වන ස්වභාවයා ගේ ආකාරයෙන් තමා හා ධර්මයත් පිරිහෙළන ස්වභාවය වඤ්චා කෙරේ.

කෙනකුට ලෝකය තමාගේ කැමැත්තට අනුකූල කර ගත නො හැකිය. ලෝකයේ යහතින් විසීමට තමා ම ලෝකයට අනුව හැඩ ගැසිය යුතුය. පිළියෙල විය යුතුය. ඒ ලෝකයට අනුකූල වන ස්වභාවය ලෝකාධිපත්‍යතා නමි. ලෝකයට අනුකූල විය යුත්තේ තමාගේ යහපත පිණිස ය. අනුකූල වීමෙන් තමාට හෝ තමාගේ ශීලාදී ගුණයන්ට හානියක් වන තැනදී ලෝකයට අනුකූල නොවිය යුතුය. ඇතැම් භික්ෂූන් කෙරෙහි ඇති තමන්ගේ ප්‍ර‍තිපත්තියටවත් සම්බුද්ධ ශාසනයටවත් ගරු නොකරන්නා වූ ස්වභාවය ලෝකාධිපතෙය්‍යතා වේශයෙන් පහළ වන්නේ ය. එයට රැවටුණු ඒ පින්වත්හු “කාලයේ සැටියට ලෝකයේ සැටියට විසිය යුතුය, වැඩකළ යුතුය” කියා භික්ෂු ප්‍ර‍තිපත්තියට හා සම්බුද්ධ ශාසනයට පටහැණි ක්‍රියා පිළිවෙලකට බසිති. එය වර්තමාන භික්ෂූන් කෙරෙහි බහුල වශයෙන් දක්නා ලැබෙන කරුණකි.

35. මෙත්තායනා මුඛෙන රාගො වඤ්චෙති.

මෙත් කිරීමේ ආකාරයෙන් රාගය වඤ්චා කෙරේ.

මෛත්‍රී භාවනාව කරන යෝගාවචරයන් කෙරෙහි සමහර විට රාගය මෛත්‍රී වේශයෙන් පහළ වන්නේය. එය සිදුවන්නේ රාගයට හේතු වන පුද්ගලයන්හට පෞද්ගලික වශයෙන් මෛත්‍රිය වැඩීමේදී ය. මෛත්‍රී භාවනාව පුරුදු කරන අමාත්‍ය පුත්‍රයෙක් එක් රාත්‍රියක ස්වකීය භාර්‍ය්‍යාව ම අරමුණට ගෙන මෙත් වැඩීම කෙළේය. ඔහුගේ සිතට මෛත්‍රියේ වේශයෙන් කාම රාගය පැමිණියේය. ඇමති පුත් මෙත් වඩමියි කාම රාගයම වැඩී ය. රාගය උත්සන්න වූ හෙතෙමේ භාර්‍ය්‍යාව සමීපයට යා ගත නොහැකිව රාත්‍රිය මුළුල්ලේ බිත්තිය හා සටන් කෙළේ ය. මෙය විසුද්ධිමාර්ගයෙහි දැක්වෙන පුවතකි.

36. කරුණායනා පතිරූපෙන සොකො වඤ්චෙති.

කරුණා කිරීමේ ආකාරයෙන් ශෝකය වඤ්චා කෙරේ.

දුකට පත් තමාගේ හිතවතකු අරමුණු කොට කරුණා භාවනාව කරන යෝගාවචරයා ගේ සන්තානයෙහි සමහරවිට ශෝකය කරුණා වේශයෙන් පහළ විය හැකිය. කරුණා-ශෝක යන දෙකම මඳක් සමාන ධර්‍ම දෙකකි. ධර්මයන් ගේ විශේෂ විභාග නොදත් තැනැත්තා හට ශෝකය ගැන ද කරුණාවකැයි මුළාවිය හැකිය. කරුණාව කුශලාව්‍යාකෘත පක්ෂ දෙකට අයත් ධර්මයකි. ශෝකය අකුශල ධර්මයකි. එය වැඩීම කුශලය වැඩීමක් නොව අකුසල් වැඩීමකි.

37. මුදිතා විහාර පතිරූපෙන පහාසො වඤ්චෙති.

මුදිතා විහාරයාගේ වේශයෙන් පහාසය වඤ්චා කෙරේ.

සත්ත්වයන් ගේ හා සංස්කාරයන්ගේ ශුභ පක්ෂය අරමුණු කොට ඇති වන්නා වූ සප්‍රීතික තෘෂ්ණාව පහාස නමි. සුඛිත සත්ත්වයන් පිළිබඳ වූ සතුටුවීම වූ ඊර්ෂ්‍යාවට ප්‍ර‍තිපක්ෂ ස්වභාවය මුදිතා නමි. මුදිතා භාවනාව කරන යෝගාවචරයන් කෙරෙහි සමහරවිට පහාසය මුදිතාවේ ආකාරයෙන් පහළවිය හැකිය.

38. උපෙක්ඛාවිහාර පතිරූපෙන කුසලෙසු ධම්මෙසු නික්ඛිත්තඡන්දතා වඤ්චෙති.

උපේක්ෂා විහාරයා ගේ වේශයෙන් කුශල ධර්ම කෙරෙහි හරනා ලද ඡන්දය ඇති බව වඤ්චා කෙරේ.

අන්‍යයන් කෙරෙහි ඇල්මක් හෝ විරුද්ධ බවක් නැතුව, සුඛිතයන් පිළිබඳව සතුටු වීමක් හා දුඃඛිතයන්ට අනුකම්පාවක් ද නො මැතිව මැදිහත්ව වාසය කරන ස්වභාවය උපේක්ෂා විහාරයයි. කුශල ධර්මයන් ඇතිකර ගැනීම පිළිබඳව හැර දමන ලද බලාපොරොත්තුව ඇති බව සමහර විට උපේක්ෂා විහාරයාගේ ආකාරය ගෙන පවත්නේ ය. එයට රැවටුණු භික්ෂු තෙමේ “උපේක්ෂක ව විසීම යහපත් ය. සැපය” යි ගෙන වත පිළිවෙත - ඉගෙනීම - භාවනාව යන ආදිය ද හැර දමා කුශල ධර්මයෙන් පිරිහෙන්නේ ය.

මේ නෙත්ති අටුවාවෙහි දැක්වුණු වඤ්චක ධර්මයෝ ය. සම්පූර්ණයෙන් වඤ්චක ධර්ම කොතෙක් ද යන බව දැක්වීමට පහසු නැත. මෙහි දක්වන ලද වඤ්චක ධර්මයන්ගේ අනුසාරයෙන් සිතා තවත් ඇත්තා වූ වඤ්චක ධර්මයන් සොයා ගනිත්වා!

මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් විසින් සම්පාදිත වඤ්චක ධර්ම ප්‍ර‍කාශනය නිමි.

සංඥාපනය - චිත්තෝපක්ලේශ ධර්ම

එක් එක් පුද්ගලයකුට රූපකාය නාමකාය වශයෙන් ශරීර දෙකක් ඇත්තේ ය. එයින් රූපකාය යනු ඇට නහර ලේ මස් ආදියෙන් නිර්මිත වී ඇති බඹයක් පමණට වැඩී ඇති ඇසට පෙනෙන්නා වූ ශරීරය ය. නාමකාය යනු රූපකායාභ්‍යන්තරයෙහි වෙසෙමින් රූපකාය ඒ ඒ ක්‍රියාවලට මෙහෙයමින් එයට අධිපතිකම් කරන, ඇසට නො පෙනෙන, අතට හසු නො වන විඤ්ඤාණ ධාතු කොට්ඨාසය ය. එයට විඤ්ඤාණ කාය යයි ද කියති. ඒ දෙකායයෙන් ප්‍ර‍ධාන රූපකාය නොව නාමකාය ය. එක් පුද්ගලයකුගේ එක් භවයකට අයත් රූපකායෙහි අනික් භවවල රූපකායයන් හා සම්බන්ධයක් නැත්තේය. එක් සත්ත්වයකුට ජාතියක් ජාතියක් පාසා වෙන් වෙන් වශයෙන් නානාප්‍ර‍කාර රූපකායයන් ඇති වී ඒවා ඒ ඒ ජාතිවලදී ම කෙළවර වන්නේ ය. සත්ත්වයකුගේ වර්තමාන රූපකාය අනාගත භවයේ ලබන රූපකායට සම්බන්ධ නො වන්නේ ය. මිනිසකු පින් කොට දෙවියකුව උපන් කල්හි ඒ දෙවියා මිනිසාගෙන් අනිකකු නො වන්නේ ද, මිනිසකු පව් කොට තිරිසනකුව උපන් කල්හි ඒ තිරිසනා මිනිසාගෙන් අනිකකු නො වන්නේ ද නාමකායයාගේ සම්බන්ධය නිසා ය. නාම කාය මල් මාලාවක හැම මලකට සම්බන්ධ වන හුය මෙන් අනේකාකාර රූපකායයන් ඇති සත්ත්වයාගේ භව පරම්පරාවට සම්බන්ධ වෙමින් පවත්නේ ය. එයින් නාමකායයාගේ ප්‍ර‍ධානත්වය දත යුතුය.

රූපකාය නාමකාය දෙකින් නාමකාය ම ප්‍ර‍ධාන බැවින් එය ගැන වැඩි සැලකිල්ලක් කළ යුතු වුව බොහෝ මනුෂ්‍යයෝ නාම කායම ගැන කිසි සැලකිල්ලක් නො කොට රූපකාය වූ නිසරු දෙය රැකීම දියුණු කිරීම සැරසීම සඳහා තමන්ගේ සම්පූර්ණ කාලය ම ගෙවති. සත්ත්වයා දුකින් නො මිදෙන්නේ ද නිවනට නො පැමිණෙන්නේ ද, ඒ වරද නිසා ය.

රූප කායෙහි හටගෙන රූප කය දුබල කරන අනේක රෝගයන් ඇතුවාක් මෙන් ම නාම කයෙහි හට ගෙන එය දුබල කරන රෝගයෝ ඇතහ. මේ පොතෙහි විස්තර කරන චිත්තෝපක්ලේශයෝ නාම කයෙහි හට ගන්නා රෝගයෝ ය. රූපකයෙහි හටගන්නා රෝග වලින් නපුර නම් කයින් කරගත යුතු දේ කර ගන්නට නුපුළුවන් වීම හා ආයු කෙටිවීම පමණෙකි. මතු භවයට එයින් වන හානියක් නැත. නාම කයෙහි හටගන්නා තෘෂ්ණාදි රෝග නිසා මිනිසා මෙලොව ද පිරිහෙන්නේ ය. පව්කම් කොට මරණින් මතු අපායෙහි ඉපිද බොහෝ දුක් ද විඳින්නේ ය. එක් භවයක නාම කායයේ හටගත් රෝගයෙන් වන අනිෂ්ට විපාකය සිය ගණන් ජාතිවලදී විඳින්නට වන්නේ ය. ඒ නිසා නාම කයෙහි හට ගන්නා අභිධ්‍යාදි රෝගයන් නිසා වන නපුර ඉතා මහත් බව තේරුම් ගෙන අවිද්‍යාවිෂමලෝභාදියෙන් නාමකය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ යුතුය. බුද්ධාගම ඇදහීමෙන් බලාපොරොත්තු විය යුතු වූ ලබා ගත යුතු වූ ධ්‍යානභිඥා මාර්ග ඵල නිර්වාණ සංඛ්‍යාත ධර්ම, නාමකය ආරක්ෂා කිරීමෙන් හා දියුණු කිරීමෙන් ලබා ගත යුතු ඒවා ය. නාම කය දියුණු කිරීම නම් කෙලෙස් රෝගයන් ගෙන් ආරක්ෂා කර ගෙන ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමය. බුද්ධාගමෙන් ලබා ගත යුතු දේ උසස් දේ ලැබිය හැකි වන්නේ එසේ කිරීමෙනි. “චිත්තෝපක්ලේශ ධර්ම” නමැති මේ පොත කියවීමෙන් නාමකායයේ රෝග වන අභිධ්‍යා විෂමලෝභාදිය ගැන දැනුම ඇති කරගත හැකිය. “වඤ්චක ධර්ම” නමැති පොත කියවීමෙන් චිත්තෝපක්ලේශ ගැන දැනුම තවත් පුළුල් කර ගත හැකිය. පිරිසිදු කර ගත හැකිය. මේ පොත කියවීමෙන් දැනුම ලබා තම තමන්ගේ නාම කය පිරිසිදු කර ගැනීමෙනුත් මෙලොව යහපත හා පරලොව යහපතත් ඒ දෙකට ම උසස් වූ ලෝකෝත්තර නිර්වාණ ප්‍ර‍තිලාභයත් සිදුකර ගනිත්වා!

මීට - ශාසනස්ථිතිකාමී, රේරුකානේ චන්දවිමල ස්ථවිර

2498 (1952) ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට.

චිත්තෝපක්ලේශ ධර්ම

නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

සද්ධං සබ්බකිලේසෙහි - බුද්ධං බුද්ධ සුදේසිතං

ධම්මං නිරඞ්ගණං සඞ්ඝං - නමාමි සිරසාදරං

ලෝකය වනාහි නානාධාතූන්ගේ සමූහයකි. මනුෂ්‍යයාය, දෙවියාය, බ්‍ර‍හ්මයාය, ස්ත්‍රියය, පුරුෂයාය, ඇතාය, අශ්වයාය, ගවයාය, එළුවාය, බැටළුවාය, පොළොවය, මුහුදය, ගඟය, ඇළය, දොළය, වැවය, පොකුණය, රන්ය, රිදීය, යකඩය, මුතුය, මැණික්ය, ගලය, ගසය, වැලය, ගෙයය, වස්ත්‍ර‍යය, ආභරණයය, ආහාරයය, පානය යනාදි නොයෙක් නම්වලින් ප්‍ර‍කාශ කරන්නා වූ ලෝකාවයව වූ අවිඤ්ඤාණක සවිඤ්ඤාණක වස්තු සියල්ල ද ධාතු සමූහයෝ ය. නානාධාතුමය වූ මේ ලෝකයෙහි අන් සියලු ධාතූන් මැඩපවත්වා ගෙන සිටින්නා වූ සියලු ධාතූන් ම ස්වවශයෙහි පැවැත්වීමට සමර්ථ වූ සියල්ලට ප්‍ර‍ධාන වූ එක් ධාතුවක් ඇත්තේ ය. එනම් සත්ත්වයාගේ සිත ය. සිතෙහි ඇත්තා වූ ලෝකය අභිභවනය කළ හැක්කා වූ ද, මුළු ලොව ස්වවශයෙහි පැවැත්විය හැක්කා වූ ද, අන්‍ය ධර්මයක් විසින් අනභිභවනීය වූ ද, මහා බලය ලෝකය දෙස නුවණැසින් බලන්නකුට දත හැකි ය.

අද ලෝකයෙහි මනුෂ්‍යයෝ පියාපත් නැත්තාහු ද අහස්හි පියාඹති. දිය මතුයෙහි ද දිය යට ද ගමන් කරති. පැයකට සැතපුම් සියගණන් යැවෙන වේගයෙන් ගමන් කරති. සැතපුම් සියගණන් දහස් ගණන් දුර සිටින්නන් හා ඉදිරියෙහි සිටින්නන් සමග මෙන් කථා කරති. එක් තැනක සිට කථා කොට මිනිත්තු ගණනක දී මුළු ලොවට ම අස්වති. තවත් නොයෙක් පුදුම දේ සිදු කරති. මනුෂ්‍යයන් මේවා සිදු කරන්නේ ශරීරයේ බලයෙන් හෝ දිව්‍ය බ්‍ර‍හ්මාදීන්ගේ බලයකින් නොව සිතේ ම බලයෙන් ය. ශරීරයට කිසිදු බලයක් නැත. ශරීරය ක්‍රියා කරන්නේ සිතේ ම බලයෙනි. මොටෝ රියක නැගී සිටින්නා වූ රියැදුරා තමාගේ කැමැත්තේ සැටියට රථය හසුරුවා එයින් කැමති තැනකට යන්නාක් මෙන් සිත ද ශරීරය ඇසුරු කොට සිට ඒ ශරීරය ස්වවශයට ගෙන තමා කැමති කැමති දේවල් ශරීරය ලවා කරවන්නේ ය. එකල්හි ශරීරය ද ඒ ඒ ක්‍රියාවෙහි යෙදෙන්නේ ය. සිතින් තොර වූ කල්හි ඒ ශරීරය කිසිදු ක්‍රියාවකට අසමර්ථ ව දරකඩක් සේ නිශ්චල ව පවත්නේ ය. එබැවින් යට කී සියලු ම ක්‍රියාවෝ ශරීරයාගේ ක්‍රියා නොව සිතේ ම ක්‍රියාවෝ යයි දත යුත්තාහු ය.

තව ද සෘද්ධිමතුන් විසින් මේසා මහත් වූ පොළොව කම්පා කරන්නේත්, හිරු දහසක් සඳ දහසක් පෑවූ කලෙක මෙන් ලොව ආලෝක කරන්නේත්, ආලෝකවත් ලෝකය ලෝකාන්තරික නරකය සෙයින් අඳුරු කරන්නේත්, පොළොවෙහි මෙන් අහස්හි හැසිරෙන්නේත්, දියෙහි මෙන් පොළොවෙහි මෙන් අහස්හි හැසිරෙන්නේත්, දියෙහි මෙන් පොළොවෙහි ගිලීම, මතුවීම කරන්නේත්, හකුළුවා තුබූ අතක් දිගුකරන්නාක් මෙන් සැණෙකින් බඹලොවට වුවද යන්නේත්, යුගාන්ත අග්නිජ්වාලා බඳු ගිනිකඳක් ශරීරයෙන් නිකුත් කරන්නේත්, මහාගඞ්ගා බඳු දියකඳන් ශරීරයෙන් නිකුත් කරන්නේත්, නීලපීතාදී අනේකවර්ණ රශ්මීන් ශරීරයෙන් නිකුත් කරන්නේත්, ඇසිල්ලකින් සිය ගණන් දහස්ගණන් වස්තූන් නිර්මිත කරන්නේත්, කුඩා වූ ද, මහත් වූ ද, නොයෙක් වෙස් ගන්නේත්, අතීතානාගතයන් බලන්නේත්, පියවි ඇසට නො පෙනෙන දුර තිබෙන්නා වූ ද, සියුම් වූ ද, වස්තූන් බලන්නේත්, පියවි කනට නොඇසෙන ශබ්ද අසන්නේත්, පරසිත් බලන්නේත්, චුතවන උපදින තැන් බලන්නේත්, මේ සිතේම බලයෙන් ය. ඒ චිත්ත බලයට සෘද්ධිබලයයි කියනු ලැබේ.

තවද මේ සත්ත්වයන් සිටුබව රජබව සක්විති රජබව ආදී මිනිස් සැපවලට පමුණුවන්නේ ද, වර්ෂ ලක්ෂගණන් කෝටිගණන් ආයු ඇති චාතුර්මහාරාජිකාදි දිව්‍යලෝකවල දිව්‍යසම්පතට පමුණුවන්නේ ද, කල්ප ගණන් ආයු ඇති බ්‍ර‍හ්මලෝකවල බ්‍ර‍හ්මසම්පත්තියට පමුණුවන්නේ ද, රහත් බවට - පසේබුදු බවට - ලොව්තුරා බුදුබවට - නිවනට පමුණුවන්නේ ද ඔහුන්ගේ සිතම ය.

තවද මේ සත්ත්වයන් ක්‍රූර බවට - වැදි බවට - කෙවුල් බවට - සල්ලාල බවට - බොරුකාර බවට - කුහක බවට - කපට බවට - බේබදු බවට - සූදුකාර බවට - කේලාම්කාර බවට - පරුෂවචන කියන බවට - උඩඟු බවට - ඊර්ෂ්‍යාකාර බවට - මසුරු බවට - පරසම්පතට ආශා කරන බවට - මෙරමා නසනු කැමති බවට - මිසදිටු බවට - මව් මරන බවට - පියා මරන බවට - රහතුන් නසන බවට - බුදුවරයන්ගේ ලේ සොලවන බවට - සඞ්ඝයා භේද කරන බවට - දාගැප් බුදුපිළිම මහබෝ විහාරාරාම නසන බවට පමුණුවන්නේ ද ඔවුන්ගේ සිතමය.

තවද බලවතුන් විසින් අල්වා තළ තළා වැඩ කරවීමය, ලොකු සතුන් විසින් අල්වා හඬව හඬවා පණපිටින් ම ගිලදමනු ලැබීමය, පණපිටින් සිටියදීම මස් කඩ කඩා ඉර ඉරා කනු ලැබීමය, ගින්නෙන් දවනු ලැබීමය යනාදී අනේක දුක් ඇත්තා වූ තිරිසන් බවට සත්ත්වයා පමුණුවන්නේ ද ඔවුන්ගේ සිතමය. හිඳිනට තැන් නැතිව, හඳනටවත් නැති ව, පිපාසයට පැන් නැති ව, සාගින්නට බත් නැති ව, අවුරුදු සිය ගණන් දහස් ගණන් තැවි තැවී හඬ හඬා සිටින්නට වන ප්‍රේතබවට සත්ත්වයන් පමුණුවන්නේ ද ඔවුන්ගේ සිතමය. බුර බුරා නගින ගිනිදැල් ඇති යපොළොවෙහි පෙරළ පෙරළා මහ වෑයෙන් සසිනු ලැබීමය, කඩ කඩ කොට කියතින් සිඳිනු ලැබීමය, ගිනියම් වූ ලෝහොගුළි කැවීමය, ලෝදිය පෙවීමය යනාදි භයානක දුක් ඇත්තා වූ සඤ්ජීවාදි මහා නරකයන්ට සත්ත්වයන් පමුණුවන්නේ ද ඔවුන්ගේ සිතමය. මෙසේ මේ චිත්තය මුළුලොව ම තමාගේ වශයට ගෙන සත්ත්වයන්ට සැපදුක් දෙක ම ගෙන දෙන බැවින් තථාගතයන් වහන්සේ විසින් :

“චිත්තෙන නීයති ලෝකෝ - චිත්තෙන පරිකස්සති.

චිත්තස්ස එකධම්මස්ස - සබ්බෙව වසමන්වගු”

යනු වදාරන ලදි. “ලෝවැසි තෙම සිතින් මනුෂ්‍ය තිරශ්චීනාදි ගතිවලට පමුණුවනු ලබන්නේ ය. සිතින් ඒ ඒ ගතිවලට අදිනු ලබන්නේ ය. ලොව සියල්ලෝ ම එක ධර්මයක් වූ චිත්තයාගේ වශයට අනුව ගියාහුය.” යනු මෙහි අදහසයි.

මෙසේ බලන කල සිතට අවනත නො වන්නා වූ කිසි ම ධර්මයක් මිනිස් ලොව හෝ දෙව්ලොව හෝ බඹලොව හෝ අන් තැනක හෝ නැති බව පෙනේ. සිත වූ ඒ ප්‍ර‍ධාන ධර්මය අභිභවනය කරන්නා වූ අන් ධර්මයක් ද කිසි තැනක නැත්තේ ය. එබැවින් සිත ම ලෝකයෙහි ප්‍ර‍ධාන ධාතුව, ප්‍ර‍ධාන ධර්මය වේ.

ලෝකයෙහි ප්‍ර‍ධාන ධාතුව වූ චිත්තය ශුද්ධ වූ කල්හි එයින් සත්ත්වයා සැපතට ද, අශුද්ධ වූ කල්හි දුකට ද පමුණුවනු ලැබේ. සත්ත්වයාගේ සිත ප්‍ර‍කෘතියෙන් ශුද්ධ වූවකි. කිලිටිවීම පසු ව සිදුවන්නකි. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “පහස්සරමිදං භික්ඛවේ, චිත්තං තඤ්ච ඛො ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨං” යනු වදාරන ලදි. “මහණෙනි, මේ සිත ප්‍ර‍කෘතියෙන් ප්‍ර‍භාස්වරය, ශුද්ධය, එය ආගන්තුක වූ (අමුතුවෙන් පැමිණෙන්නා වූ) උපක්ලේශයන් විසින් කිලිටි කරනු ලැබේය” යනු එහි තේරුමයි.

යම් සේ ශුද්ධ වූ ජලය කුණුකසල පැමිණීමෙන් අපවිත්‍ර‍ වන්නේ ද, ශුද්ධ වූ වස්ත්‍ර‍ය ඩහදිය දූලි ආදිය පැමිණීමෙන් කිලිටි වන්නේ ද, එමෙන් ශුද්ධ වූ චිත්තය චිත්තෝපක්ලේශයන් හා සංයෝගයෙන් කිලිටි වන්නේ ය. සිත කිලිටි වීමෙන් සත්ත්වයා ද කිලිටි වන්නේ ය. සිත ශුද්ධ වීමෙන් සත්ත්වයා ද ශුද්ධ වන්නේ ය. ඒ බව “චිත්තසංකිලේසා භික්ඛවෙ, සත්තා සංකිලිස්සන්ති, චිත්ත වෝදානා විසුජ්ඣන්ති” යනුවෙන් වදාරන ලදි. “මහණෙනි, සිත කිලිටි වීමෙන් සත්ත්වයෝ කිලිටි වන්නාහ, සිත ශුද්ධ වීමෙන් ශුද්ධ වන්නාහුය” යනු එහි තේරුමයි.

“රූපේන සංකිලිට්ඨෙන - සංකිලිස්සන්ති මානවා

රූපේ සුද්ධෙ විසුජ්ඣන්ති - නං අක්ඛාතං මහේසිනා

චිත්තේන සංකිලිට්ඨෙන - සංකිලිස්සන්ති මානවා

චිත්තේ සුද්ධෙ විසුජ්ඣන්ති - ඉති වුත්තං මහේසිනා”

රූපය කිලිටි වීමෙන් සත්ත්වයෝ කිලිටි වන්නාහ, රූපය ශුද්ධ වූ කල්හි සත්ත්වයෝ ශුද්ධ වන්නාහ යි තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍කාශ නො කරන ලද්දේ ය. චිත්තය කිලිටි වීමෙන් සත්ත්වයෝ කිලිටි වන්නාහ. චිත්තය ශුද්ධ වූ කල්හි ශුද්ධ වන්නාහ. මෙසේ තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍කාශ කරන ලද්දේ ය යනු මෙහි තේරුමයි.

මේ ගාථාවලින් ශරීරයේ ශුද්ධාශුද්ධියෙන් සත්ත්වයන්ගේ ශුද්ධාශුද්ධිය තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍කාශ නො කරන බව හා සිතෙහි ශුද්ධාශුද්ධියෙන් සත්ත්වයන්ගේ ශුද්ධාශුද්ධිය තථාගතයන් වහන්සේ ප්‍ර‍කාශ කරන බව ද දක්වන ලදි. සත්ත්ව ශරීරය වනාහි අපවිත්‍ර‍ වූ දුර්ගන්ධ වූ පිළිකුල් වූ කෙස් ලොම් ආදී කොටස් දෙතිසක් එක්වීමෙන් සෑදී තිබෙන දෙයකි. එහි ශුද්ධ වූ කිසිවක් නැත්තේය. මුළු ශරීරය ම ඇතුළත පිටත දෙක ම අපවිත්‍ර‍ය. කොතෙක් සේදුව ද අඟුරු සුදු නොවන්නාක් මෙන් ද, අසූචි පිඩ පවිත්‍ර‍ නොවන්නාක් මෙන් ද, කුණප සමූහයක් වූ ශරීරයේ ශුද්ධියක් ලැබිය හැක්කේ නොවේ. ශරීරයේ ශුද්ධියක් ඇතය යනු ලෞකික මහජනයාගේ සංඥා මාත්‍ර‍යකි. සත්‍ය වශයෙන් ඇති දෙයක් නොවේ. එබැවින් තථාගතයන් වහන්සේ එහි ශුද්ධියක් නො වදාරන සේක. සිත වනාහි ප්‍ර‍කෘතියෙන් ශුද්ධ ව උපක්ලේශයන් හා එක්වීමෙන් කිලිටි වන්නාක් බැවින් එය ශුද්ධ කළ හැකිය. එබැවින් තථාගතයන් වහන්සේ චිත්ත ශුද්ධිය ඇති බව ද, එය ම සත්ත්වයන්ගේ ශුද්ධිය බව ද වදාළ සේක. අශුද්ධ වූ චිත්තයෙන් සත්ත්වයන්ට වන හානිය දක්වනු පිණිස බුදුහු මෙසේ වදාළ සේක.

“සෙය්‍යථාපි භික්ඛවෙ; වත්ථං සඞ්කිලිට්ඨං මලග්ගහිතං තමේනං රජකෝ යස්මිං යස්මිං රඞ්ගජාතේ උපසංහරෙය්‍ය. යදි පීතකාය, යදි ලොහිතකාය, යදි මඤ්ජෙට්ඨකාය, දුරත්තවණ්ණමෙවස්ස, අපරිසුද්ධ වණ්ණමෙවස්ස, තං කිස්ස හෙතු? අපරිසුද්ධත්තා භික්ඛවේ! වත්ථස්ස. ඒවමේව ඛො භික්ඛවේ! චිත්තේ සඞ්කිලිට්ඨෙ දුග්ගති පාටිකඞ්ඛා”

“මහණෙනි, පස් දූලි ආදියෙන් කිලිටි වූ ඩහදිය දැලි ආදිය තැවරුණා වූ වස්ත්‍ර‍යක් වේ ද, එය සායම් පොවන්නා වූ තැනැත්තා නිල් පැහැය කරනු පිණිස හෝ රන්වන් පැහැය කරනු පිණිස හෝ රතු පැහැය කරනු පිණිස හෝ මදට පැහැය කරනු පිණිස හෝ යම්කිසි සායම් වතුරක බහා ලූයේ ද ඒ වස්ත්‍ර‍ය නොමනා සායම් වර්ණ ඇත්තේ ම අපිරිසිදු වූ වර්ණ ඇත්තේ ම වන්නේ ය. කුමක් හෙයින් ද? මහණෙනි, වස්ත්‍ර‍ය අපිරිසිදු හෙයිනි. මහණෙනි, එපරිද්දෙන් සිත අපිරිසිදු වූ කල්හි ඒ සත්ත්වයා හට දුර්ගතියට පැමිණීම වන්නේ ය.” යනු මෙහි අදහසයි.

මෙයින් ප්‍ර‍කාශිත වූ දුර්ගතිය වනාහි ප්‍ර‍තිපත්ති දුර්ගතිය - ගති දුර්ගතියයි දෙ වැදෑරුම් වේ. ප්‍ර‍තිපත්ති දුර්ගතිය යනු ප්‍ර‍තිපත්තියෙහි නො මඟ යාම වූ දුශ්ශීල භාවය යි. ගති දුර්ගතිය යනු ඒ නො මනා ප්‍ර‍තිපත්තිය නිසා පැමිණිය යුතු සතර අපාය යි. ප්‍ර‍තිපත්ති දුර්ගතිය ද, අගාරික ප්‍ර‍තිපත්ති දුර්ගතිය, අනගාරික ප්‍ර‍තිපත්ති දුර්ගතියයි දෙ වැදෑරුම් වේ. ගති දුර්ගතිය ද එසේම දෙ වැදෑරුම් වේ. අගාරිකයෝ නම් ගිහියෝ ය. අනගාරිකයෝ නම් පැවිද්දෝ ය. ක්ලේශයන්ගෙන් කිලිටි වූ සිත් ඇත්තා වූ ගිහියා කිලිටි වූ සිත නිසා පර පණ නසයි. සොරකම් ද කරයි. පරදාරාවන් කරා ද යයි. බොරු ද කියයි. සුරා පානය ද කරයි. කේලාම් කියා ඔවුනොවුන් බිඳවයි. මව්පියනට අපරාධ කරයි. සහෝදර සහෝදරියන්ට අපරාධ කරයි. තවත් නොයෙක් පව්කම් කරයි. මෙය ඔහුගේ ප්‍ර‍තිපත්ති දුර්ගතියයි. ඒ පාපයන් හේතුකොට ඔහු මරණින් මතු නරකයට උත්පත්ති වශයෙන් පැමිණෙයි. තිරිසන් යෝනියට පැමිණෙයි. ප්‍රේත බවට ද පැමිණේ. මේ ඔහුගේ ගති දුර්ගතියයි.

ක්ලේශයන්ගෙන් කිලිටි වූ සිත් ඇති පැවිද්දා ද ලාභාපේක්ෂාවෙන් ගිහියන් සතුටු කරවනු පිණිස තමා වෙත පැමිණෙන ධනවත් ගිහියන් හුනස්නෙන් නැගිට ඉදිරියට ගොස් පිණිගනී. වන්දිභට්ටයන් සේ ඔවුන්ගේ ගුණ වර්ණනා කරයි. සැදැහැවතුන් විසින් පින් සලකා පුදන ලද වස්තූන් ගිහියන්ට ද දෙයි. පණිවිඩ ගෙන යාම් ආදි ගිහියන්ගේ වැඩ කරයි. ගිහියන්ගේ දරුවන් සුරතල් කරයි. නො මනා දේ කිරීමෙන් මුදල් සපයයි. මුදල් පොලියට දෙයි. දුර්වල භික්ෂූන් විහාරස්ථානවලින් පලවා හැර විහාරස්ථාන හිමිකර ගනී. කේලාම් කියා භික්ෂූන් ඔවුනොවුන් බිඳවයි. අන්‍ය භික්ෂූන් හා දායකයන් බිඳවයි. තවත් ශ්‍ර‍මණ ධර්මයට පටහැණි වූ නොයෙක් දේ කරයි. මේ අනගාරික ප්‍ර‍තිපත්ති දුර්ගතියයි. ඒ නො මනා ප්‍ර‍තිපත්ති හේතුකොට ඒ භික්ෂුව මරණින් මතු නරකාදි සතර අපායට යයි. ප්‍රේතයෙක් හෝ වෙයි. මේ ඔහුගේ ගතිදුර්ගතියයි. ශ්‍ර‍මණ ප්‍රේතයෝ නම් මහණ ව දුෂ්ප්‍ර‍තිපත්ති පිරීමේ විපාකයෙන් ප්‍රේතව ගිනි ගෙන දිලෙන පාසිවුරු දරාගෙන මහ හඬින් හඬ හඬා සිටින ආකාශචාරී ප්‍රේතවර්ගයෙකි. ශුද්ධ වූ චිත්තයෙන් සත්ත්වයාට වන යහපත දක්වනු සඳහා බුදුහු මෙසේ වදාළහ.

“සෙය්‍යථාපි භික්ඛවෙ, වත්ථං පරිසුද්ධං පරියොදාතං, තමෙනං රජකො යස්මිං යස්මිං රඞ්ගජාතෙ උපසංහරෙය්‍ය. යදි නීලකාය, යදි පීතකාය, යදි ලොහිතකාය, යදි මඤ්ජෙට්ඨකාය, සුරත්ත වණ්ණ මෙවස්ස, පරිසුද්ධවණ්ණමෙවස්ස, තං කිස්ස හෙතු? පරිසුද්ධත්තා භික්ඛවෙ! වත්ථස්ස, එවමේව ඛො භික්ඛවේ! චිත්තෙ අසඞ්කිලිට්ඨෙ සුග්ගති පාට්කඞ්ඛා.”

“මහණෙනි, යම් සේ පිරිසිදු වූ හාත් පසින් බබළන්නා වූ වස්ත්‍ර‍යක් වේ ද, එය සායම් පොවන්නා නිල් පැහැය කරනු පිණිස හෝ රන්වන් පැහැය කරනු පිණිස හෝ රතු පැහැය කරනු පිණිස හෝ මදට පැහැය කරනු පිණිස හෝ යම්කිසි සායම් වතුරක බහාලූයේ නම්, ඒ වස්ත්‍ර‍ය මනා සායම් පැහැය ඇත්තේ ම වන්නේ ය. පිරිසිදු පැහැය ඇත්තේ ම වන්නේ ය. කුමක් හෙයින් ද? මහණෙනි, වස්ත්‍ර‍ය පිරිසිදු වූ හෙයිනි. මහණෙනි, එපරිද්දෙන් සිත පිරිසිදු වූ කල්හි සත්ත්වයා සුගතියට පැමිණෙන්නේය” යනු මෙහි අදහසයි.

මෙයින් දක්වන ලද සුගතිය ද ප්‍ර‍තිපත්ති සුගතිය, ගති සුගතිය යයි දෙ වැදෑරුම් වේ. ප්‍ර‍තිපත්ති සුගතිය ද නැවත අගාරික ප්‍ර‍තිපත්ති සුගතිය, අනගාරික ප්‍ර‍තිපත්ති සුගතිය යි දෙ වැදෑරුම් වේ. සිත පිරිසිදු වූ කල්හි ගිහියා ප්‍රාණඝාතයෙන් වැළකීම් ආදියෙන් දස කුශල කර්මපථය සම්පූර්ණ කරන්නේ ය. දානාදි පුණ්‍ය ක්‍රියා වස්තූන් සම්පූර්ණ කරන්නේ ය. මෙය ඔහුගේ ප්‍ර‍තිපත්ති සුගතිය යි. යහපත් ප්‍ර‍තිපත්තියෙහි පිහිටියා වූ හෙතෙම මරණින් මතු මිනිස් ලොව උසස් බවට ද පැමිණෙන්නේ ය. දෙව්ලොවට ද පැමිණෙන්නේ ය. මේ ඔහුගේ ගති සුගතිය යි.

මේ ශාසනයෙහි ශුද්ධ සිත් ඇත්තා වූ භික්ෂුව ද ඒ ශුද්ධ චිත්තයෙන් චතුපාරිශුද්ධි ශීලය සම්පූර්ණ කරයි. තෙළෙස් ධුතාඞ්ගයන් රක්ෂා කරයි. ප්‍ර‍ත්‍යය වැඩි කර ගැනීමේ ප්‍ර‍තිපත්තිය හැර විවේක ස්ථානයන්හි වෙසෙමින් තමහට අනුකූල කර්මස්ථානයක් ගෙන භාවනා කොට ධ්‍යාන සමාපත්තීන් උපදවයි. සෝවාන් මාර්ගය වඩයි. සකෘදාගාමි මාර්ගය වඩයි. අනාගාමී මාර්ගය වඩයි. මේ ඒ භික්ෂුවගේ ප්‍ර‍තිපත්ති සුගතියයි. ඒ භික්ෂුතෙම ඒ යහපත් ප්‍ර‍තිපත්තියෙහි පිහිටා මරණින් මතු උත්පත්ති වශයෙන් මිනිස් ලොව උසස් කුලවලට පැමිණෙයි. සයක් වූ කාමාවචර දිව්‍ය ලෝකයනට හෝ පැමිණෙයි. බ්‍ර‍හ්මපාරිෂද්‍යාදි දහසයක් වූ බ්‍ර‍හ්මලෝකයන්ට හෝ පැමිණෙයි. පඤ්ච ශුද්ධාවාස භූමීන්ට හෝ පැමිණෙයි. සතරක් වූ අරූප භූමීන්ට හෝ පැමිණෙයි. මේ ඒ භික්ෂුවකගේ ගති සුගතියයි. තවද ඒ චිත්ත ශුද්ධත්වය නිසා සියලු දුක් නසා නිවනට ද පැමිණෙන්නේ ය.

ලෝකයෙහි සියල්ලන්ට අර්ථා’නර්ථ සැප දුක් සියල්ල ම ගෙන දෙමින් මුළු ලොව ස්වවශයෙහි පවත්වන්නා වූ ප්‍ර‍ධාන ධාතුව වූ චිත්තයාගේ අශුද්ධත්වය සකලානර්ථයන්ට හේතුවන බැවින් ද, එහි ශුද්ධත්වය සකලාර්ථසාධක බැවින් ද, තම තමාගේ දෙව්ලොව වැඩ කැමති සත්පුරුෂයන් විසින් සිත ශුද්ධ කර ගැනීමට වීර්‍ය්‍ය කළ යුතුය. සිත ශුද්ධ කර ගැනීමට ද සිත කිලිටි කරන්නා වූ ධර්මයන් දත යුතුය. එබැවින් චිත්තෝපක්ලේශ නම් වූ සිත කිලිටි කරන්නා වූ ධර්මයන් පිළිබඳ විවරණයක් කරනු ලැබේ.

  1. අභිජ්ඣා විසමලෝභෝ චිත්තස්ස උපක්කිලේසෝ
  2. ව්‍යාපාදො චිත්තස්ස උපක්කිලේසෝ
  3. කෝධෝ චිත්තස්ස උපක්කිලේසෝ
  4. උපනාහෝ චිත්තස්ස උපක්කිලේසෝ
  5. මක්ඛෝ චිත්තස්ස උපක්කිලේසෝ
  6. පලාසෝ චිත්තස්ස උපක්කිලේසෝ
  7. ඉස්සා චිත්තස්ස උපක්කිලේසෝ
  8. මච්ඡරියං චිත්තස්ස උපක්කිලේසෝ
  9. මායා චිත්තස්ස උපක්කිලේසෝ
  10. සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලේසෝ
  11. ථම්භෝ චිත්තස්ස උපක්කිලේසෝ
  12. සාරම්භෝ චිත්තස්ස උපක්කිලේසෝ
  13. මානො චිත්තස්ස උපක්කිලේසෝ
  14. අතිමානෝ චිත්තස්ස උපක්කිලේසෝ
  15. මදෝ චිත්තස්ස උපක්කිලේසෝ
  16. පමාදෝ චිත්තස්ස උපක්කිලේසෝ

යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වත්ථසූත්‍රයෙහි චිත්තෝපක්ලේශ ධර්මයෝ දේශිතයහ.

එහි තේරුම මෙසේ ය.

  1. ස්වකීය වස්තූන්හි ආශාව අභිධ්‍යාව හා අන්සතු වස්තූන්හි ආශාව වූ විෂමලෝභය චිත්තයාගේ උපක්ලේශයෙක.
  2. නවාඝාත වස්තුවෙන් හට ගන්නා වූ ව්‍යාපාදය චිත්තයාගේ උපක්ලේශයෙක.
  3. දශාඝාත වස්තූන් නිසා හටගන්නා වූ ක්‍රෝධය චිත්තයාගේ උපක්ලේශයෙක.
  4. නැවත නැවත හටගන්නා ස්වභාවයෙන් පවත්නා ක්‍රෝධය වූ වෛරය චිත්තයාගේ උපක්ලේශයෙක.
  5. කළ ගුණ නැති කරන ස්වභාවය වූ ගුණමකුකම චිත්තයාගේ උපක්ලේශයෙක.
  6. ගුණවතුන් හා තමන් සම කොට සිතන ස්වභාවය වූ යුගග්‍රාහය චිත්තයාගේ උපක්ලේශයෙක.
  7. මෙරමා සම්පත් නො ඉවසන ස්වභාවය වූ ඊර්ෂ්‍යාව චිත්තයාගේ උපක්ලේශයෙක.
  8. තමාගේ සම්පත් අනුන් හා සාධාරණ වනු නො ඉවසන ස්වභාවය වූ මාත්සර්‍ය්‍යය චිත්තයාගේ උපක්ලේශයෙක.
  9. තමාගේ වරද සඟවා ගුණවතකු සේ පෙනී සිට මෙරමා රවටන ස්වභාවය වූ මායාව චිත්තයාගේ උපක්ලේශයෙක.
  10. නැති ගුණ දක්වන කෛරාටික ස්වභාවය වූ සාඨෙය්‍යය චිත්තයාගේ උපක්ලේශයෙක.
  11. ධර්මයට නො නැමෙන තද ස්වභාවය වූ ථම්භය චිත්තයාගේ උපක්ලේශයෙක.
  12. අනුන් කළ දෙයට වැඩි කොට කරන ස්වභාවය වූ සාරම්භය චිත්තයාගේ උපක්ලේශයෙක.
  13. ජාත්‍යාදිය නිසා තමා කොඩියක් සේ උසස් කොට ගන්නා ස්වභාව වූ මානය චිත්තයාගේ උපක්ලේශයෙක.
  14. තමා අතිශයින් උසස් කොට ගැනීම වූ අතිමානය චිත්තයාගේ උපක්ලේශයෙක.
  15. ජාත්‍යාදිය නිසා වන්නා වූ මදය (මත්වීම) චිත්තයාගේ උපක්ලේශයෙක.
  16. පඤ්චකාමගුණයෙහි සිත යැවීම වූ ප්‍ර‍මාදය චිත්තයාගේ උපක්ලේශයෙක.

1. අභිජ්ඣා විසමලෝභෝ චිත්තස්ස උපක්කිලේසෝ

මෙහි “අභිධ්‍යාව” යනු ස්වකීය වස්තුව සම්බන්ධයෙන් හටගන්නා වූ ලෝභයයි. “විසමලෝභය” යනු අනුන් අයත් වස්තූන් ගැන හටගන්නා වූ ලෝභයයි. තවත් ක්‍ර‍මයකින් කියත හොත් ලෝක සම්මුතියේ සැටියට ලෝක නීතියේ සැටියට ලෝභ නොකළ යුතු වස්තූන් හා පුද්ගලයන් ගැන හටගන්නා වූ ලෝභය “විෂමලෝභ” නමි. අන්සතු වස්තූන් ගැන ලෝභ කිරීම ද, තමාට නුසුදුසු වස්තූන් ගැන ලෝභ කිරීම ද, පරභාර්‍ය්‍යා පරපුරුෂ සහෝදරාදි නුසුදුසු පුද්ගලයන් ගැන රාගය හෙවත් ලෝභය ඉපදවීම ද ලෝක නීතියට විරුද්ධ ය. ලෝභ කළ යුතු වස්තූන්ගේ වශයෙන් “අභිජ්ඣා විසම ලෝභ” යන නම් දෙකකින් වදාරා තිබෙතත් ධර්ම වශයෙන් ලෝභය එකක් ම ය. දෙක ම එක ම චිත්තෝපක්ලේශයක් වශයෙන් වදාරන ලදුයේ ද ධර්ම වශයෙන් එකක් ම වූ හෙයිනි.

ස්වකීය ස්කන්ධ පඤ්චකය කෙරෙහි හා බාහිර අවිඤ්ඤාණක සවිඤ්ඤාණක වස්තූන් කෙරෙහි ඇලීම ලෝභයාගේ ලක්ෂණයයි. තණ්හාවය ආශාවය ආදරයය ආලයය රාගයය කැතකමය ගිජුකමය සතුටය යන වචනවලින් කියැවෙන්නේ ද මේ ලෝභයයි. සතුටුවීම යන වචනයෙන් ලෝභය කියවෙන්නේ සමහර කරුණු වලදී පමණෙකි. මෙය සිත ඇසුරු කර ගෙන උපන් කල්හි සිතට බබලන්නට නො දෙන බැවින් සිත අඳුරු කරන බැවින් චිත්තෝපක්ලේශයකි. මේ ලෝභය ගැන තථාගතයන් වහන්සේ විසින් ඉතිවුත්තක පාළියෙහි -

“අනත්ථජනනෝ ලොභෝ

ලෝභෝ චිත්තපකෝපනෝ

භයමන්තරතෝ ජාතං

තං ජනෝ නාවබුජ්ඣති.

-

ලුද්ධෝ අත්ථං න ජානාති

ලුද්ධෝ ධම්මං න පස්සති

අන්ධන්තමං තදා හෝති

යං ලෝභෝ සහතේ නරං”

යනු වදාරන ලදි.

“ලෝභය තෙම අනර්ථ ඇතිකරන්නක් ය. ලෝභය තෙම සිත කළඹවන්නක් ය, අභ්‍යන්තරයෙන් ම පැන නැංගාවූ භයක්ය. ඒ බව ජනතෙම නොදනී.

හටගත් ලෝභය ඇති තැනැත්තේ ආත්මාර්ථ පරාර්ථාදි අර්ථය නොදන්නේ ය. හටගත් ලෝභය ඇති තැනැත්තේ දශකුශල කර්මපථාදි ධර්මය නොදක්නේය. යම් කලෙක ලෝභය සත්ත්වයා පෙළා ද, එකල්හි ඔහුට අන්ධකාරයක් වන්නේ ය යනු එහි තේරුමයි.

ලෝභය සත්ත්වයන්ගේ සන්තානයන්හි වස්තු රැස්කිරීම සම්බන්ධයෙන් ය, ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධයෙන්ය යන දෙයාකාරයෙන් උපදී. එයින් වස්තු රැස් කිරීම සම්බන්ධයෙන් උපදනා ලෝභය අධික වූ පුද්ගලයා බොහෝ වස්තු රැස් කර ආරක්ෂා කරයි. අදින්නපුබ්බක, ඉල්ලීස, මච්ඡරිය කෝසියාදි ධනවතුන් මෙන් තමා ද ධනය පරිභෝග නො කරයි. පරහට ද නොදෙයි. ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධයෙන් ඇති වන්නා වූ ලෝභය බහුල පුද්ගලයා දුටු දුටු දෙයට ලොල්ව පමණ ඉක්මවා ධනය වියදම් කොට අසූ කෝටියක් ධනයට හිමි ව සිට හිඟමනට පත්වූ මහාධන සිටු පුත්‍රයා මෙන් ධනහානියට පැමිණේ. ඉඳුරන් පිනවීම සඳහා හෙවත් නොයෙක් සැප විඳිනු සඳහා ධන වියදම් කිරීමත් ධන රැස් කිරීම සේ ම ලෝභයෙන් කරන්නක් බව නොදත්තෝ එසේ කරන්නවුන්ට නිර්ලෝභීහුයයි පසසති. රැස් කරන්නවුන්ට නින්දා කරති. එහෙත් ඔවුන්ට වස්තු රැස් කරන්නවුන්ට පමණ පැසසිය යුතු නොවේ. ඒ වියදම් කරන්නා වූ ලෝභය වඩාත් අනර්ථකර හෙයිනි.

මේ දෙයාකාරයෙන් ඇති වන්නා වූ ලෝභය ගින්නක් මෙන් සත්ත්ව සන්තානය දැවීමත් තැවීමත් කරන්නේ ය. වස්තු සොයවා සත්ත්වයන් වෙහෙසට පත්කර වන්නේය. ලෝභනීය වස්තූන් කරා පමුණුවා සත්ත්වයන් විනාශ කරවන්නේ ය.එ ක් තැනකින් පටන් ගෙන ගංගාවක් සේ ඉතා දිගට වැඩෙන්නේ ය. මහා සමුද්‍ර‍ය සේ නො පිරවිය හැක්කේය. තෙලින් දිය කර ගැල් වූ දැලි සේ ගැලවීමට දුෂ්කරය. නොයෙක් පව්වලට හේතු වන්නේය. ස්වර්ග මාර්ගය හා මෝක්ෂ මාර්ගය වසන්නේ ය. සත්ත්වයන් අපායට පමුණු වන්නේ ය. භවාග්‍ර‍යට ගියාවූ ද සත්ත්වයා නැවත අපායට ගෙන යන්නේ ය.

ලෝභය සත්ත්වයන් තවන සැටි

ලෝභය පිපාසයක් වැනි ස්වභාවයකි. පිපාසය හටගත්තා වූ තැනැත්තාට යම් කිසිවක් පානය නො කොට නො සිටිය හැකිය. එබැවින් පිපාසිතයා පානය කරන්නට කිසිවක් නො ලදහොත් අන් සියල්ල ම හැර පානය කරන්නට දෙයක් සොයන්නට වන්නේය. ඊට හේතුව නම්: යම් කිසිවක් බී සන්සිඳවන තෙක් ම ඒ පිපාසය සත්ත්වයාට පීඩා කිරීමය. එපරිද්දෙන් යම් කිසිවක් ගැන හටගන්නා ලෝභය ද එය ලබන තෙක් සත්ත්වයා තවන්නේ ය. ඒ තැවීම නොඉවසිය හැක්කා වූ සත්ත්වයා ඒ ලෝභය හටගත් වස්තුව සොයන්නේය. ලෝභය උපදනා කල මෝහය හා අත්වැල් බැඳ ගෙන ම උපදින බැවින් එහි ඇත්තා වූ තවන ස්වභාවය සත්ත්වයාට නො වැටහෙන්නේ ය. නමුත් සෑම ලෝභයක් ම සත්ත්වයා තවන්නේ ය. එබැවින් එය පිපාසයක් වැනි යයි කියන ලදි. මඳ ලෝභයෙහි තවන ස්වභාවය අප්‍ර‍කට වුව ද, බලවත් ලෝභයේ තවන ස්වභාවය අතිශයින් ප්‍ර‍කටය. ඒ තැවීම ද ලෝභ කරන වස්තුව නො ලැබිය හැකි වන කල්හි හා ලැබී තිබුණ ලෝභනීය වස්තුව නැතිවූ කල්හි ද අතිශයින් උග්‍ර‍ වන්නේ ය. එසේ වූ කල්හි ඒ හේතුවෙන් ඇතැමෙක් අතීසාරාදි රෝගයන්ට භාජන වෙති. ඇතැමෙක් උමතු වෙති. ඇතැමෙක් මිය යති. ඇතැමෙක් සිය දිවි නසා ගනිති.

ලෝභයේ පීඩනයෙන් රෝගාතුරව මරණාසන්න වූ රජෙක්

පෙර බරණැස් නුවර බ්‍ර‍හ්මදත්ත රජුට පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. ඒ දෙදෙනාගෙන් වැඩිමහල්ලාට යුව රජ තනතුර ද, බාලයාට සෙනෙවිරත් තනතුර ද, රජතුමා විසින් දෙන ලද්දේ ය. පසු කාලයේ දී බ්‍ර‍හ්මදත්ත රජතුමා කලුරිය කළේය. එකල්හි ඇමතියෝ වැඩිමහලු පුත්‍ර‍යා රාජ්‍යයෙහි අභිෂේක කරන්නට සූදානම් වූහ. කුමාරයා මට රජයෙන් කම් නැතැයි එය ප්‍ර‍තික්ෂේප කෙළේය. එකල ඇමතියෝ බාල කුමාරයාව අභිෂේක කළහ. මලණුවන් අභිෂේක කළ කල්හි ඒ කුමාරයා යුවරජ තනතුර ද ප්‍ර‍තික්ෂේප කෙළේය. රජකම් නොකර වුවද එහි සැපසේ වසන්නට කී නමුත් එද ඔහු ප්‍ර‍තික්ෂේප කොට බරණැස් නුවරින් නික්ම ප්‍ර‍ත්‍යන්තයට ගොස් එක් සිටුවරයකුට වැඩ කරමින් ජීවිකාව කරන්නට විය. පසු ව ඔහු රාජ කුමාරයකු බව දැන ගත් සිටුතුමා ඔහුට වැඩ කරන්නට නොදී කුමාර ලීලාවෙන් ම පෝෂ්‍ය කෙළේය. එසේ සිටින අතර දිනක් රාජපුරුෂයෝ ඉඩම් පරීක්ෂාව පිණිස ඒ ගමට පැමිණියෝ ය. එකල්හි සිටුතුමා කුමාරයා කරා ගොස් “කුමාරයාණෙනි, අපි ඔබ පෝෂ්‍ය කරන්නෙමු. ඔබ මලණුවන්ට හස්නක් යවා අප බදු ගෙවීමෙන් නිදහස් කරනු මැනව” යි කීය. කුමාරයා එසේ කරනු පිණිස මලණුවන්ට හස්නක් යැවීය. මලණුවෝ ද එසේ කළහ. ඉක්බිති එගම් වැසි සියල්ලෝම ද ජනපද වැස්සෝ ද කුමාරයන් කරා ගොස් “අපිත් ඔබ තුමාට බදු ගෙවන්නට කැමැත්තෙමු. රජතුමාට හසුන් යවා අප ද බදුවලින් නිදහස් කරනු මැනව”යි කීහ. එකල්හි ඔහු ඔවුන් ගැන ද රජුට හසුන් යැවීය. රජු ඔවුන් ද බද්දෙන් නිදහස් කෙළේය. ඔවුහු එතැන් පටන් ඒ කුමාරයන්ට ම බදු ගෙවන්නට වූහ. එයින් කුමාරයාට බොහෝ ලාභ සත්කාර ඇති විය. ලාභ සත්කාර ලැබෙන්නට වන් කල්හි ඔහුගේ ලෝභය ද වැඩෙන්නට විය. ඔහු එපමණින් නොනැවතී මුළු ජනපදය ම ඉල්වීය. රජතුමා එද ඔහුට දුන්නේය. ඔහුගේ ලෝභය තවත් වැඩෙන්නට විය. එපමණකින් නො නැවතී යුවරජකම ද ඉල්වීය. රජතුමා එද ඔහුට දුන්නේය. ඔහුගේ තණ්හාව එපමණකින් ද නො පිරුනේය. රජකම ම ගන්නෙමැයි ඔහු සේනා රැස් කර ගෙන නුවරින් පිටත සිට “මට රජකම ම දෙනු මැනව, නො එටස් නම් යුද්ධ කරමි” යි මලණුවන්ට හස්නක් යැවීය. එකල්හි රජතුමා “මේ අඥයා මේ රජය හැර ගොස් දැන් යුද්ධ කොට රජය ගන්නට කතා කරයි. ඉදින් මා විසින් යුද කොට මොහු නසු ලබන්නේ නම් මට නින්දාවක් වන්නේ යයි” සිතා “යුද්ධයෙන් කම් නැත. රාජ්‍යය ම ගනුව” යි කියා හස්නක් යැවීය. ඔහු පැමිණ රාජ්‍යය ගෙන මලණුවන්ට යුවරජ තනතුර දී රාජ්‍ය කරනුයේ එයින් ද තෘප්තියට නො පැමිණ තවත් රාජ්‍යයන් සොයන්නට විය. ලෝභයේ කෙළවරක් නුදුටුවේය.

එකල්හි ශක්‍රදේවේන්ද්‍ර‍යාණෝ “මිනිස් ලොව දානාදි පින්කම් කරන්නෝ කවරහු ද? තණ්හාවට වාල් ව සිටින්නෝ කවරහුදැ” යි බලන්නාහු මේ රජු දැක “මොහු බරණැස් රජයත් මදිව තවත් රාජ්‍යයන් ගැන බලාපොරොත්තු වන්නේ ය. මොහුට හොඳ පාඩමක් උගන්වමි” යි තරුණ මිනිසකුගේ වේශයෙන් රාජද්වාරයෙහි සිට “උපායයෙහි දක්ෂ වූ එක් මානවකයෙක් රජු දැකීමට අවුත් සිටින්නේය” යි රජුට දැන්වූහ. රජ තෙමේ ඔහුට තමාගේ ඉදිරියට පැමිණෙන්නට අවසර දුන්නේය. මානවකයා ද රජු ඉදිරියට පැමිණ සිටි කල්හි රජතුමා “කුමක් පිණිස ආවෙහිදැ”යි ඇසීය. එකල්හි මානවකයා “දේවයන් වහන්ස, නුඹ වහන්සේට කරුණක් කියන්නට පැමිණියෙමිය, ඊට රහස් තැනක් වුවමනාය” යි කීය. එකෙණෙහි ශක්‍රානුභාවයෙන් ම එහි සිටියෝ ඈත්වූහ.

එකල්හි මානවකයා “දේවයන් වහන්ස, මම ජනාකීර්ණ වූ ඉතා සමෘද්ධ වූ බලවාහන සම්පූර්ණ වූ නගර තුනක් දනිමි. මාගේ ආනුභාවයෙන් ඒ නුවරවල් තුන ම නුඹ වහන්සේට අල්වා දෙන්නෙමි, වහා එහි යාමට සැරසෙනු මැනව” යි කීය. ලෝභයට වාල් වී සිටියා වූ රජුට නුවරවල් තුන ගැන කී කල්හි මානවකයාගෙන් “නුඹ කවරෙක්ද? කොහි සිට ආවෙහිද? ඒ සඳහා නුඹට කුමක් උවමනාද?” යනාදිය විචාරන්නට අමතක විය. ශක්‍රයෝ ද එපමණක් ම කියා තව්තිසා දෙව්ලොවට ගියහ. රජතෙමේ ඇමතියන් රැස් කරවා කියනුයේ “ඇමතියෙනි, එක් මානවකයෙක් නගර තුනක් අල්වා දෙමි” යි කීය. නුවර බෙර ලවා සෙනඟ රැස් කරව්. ඒ මානවකයා කැඳවව්” යයි කීහ. ඇමතියෝ මානවකයා නොදැක රජුට කියන්නාහු “දේවයන් වහන්ස, නුඹ වහන්සේ මානවකයාට සත්කාර කළහුද? වාසය කරන තැන විචාළහුදැ”යි ඇසූහ. එකල්හි රජතුමා එසේ නොකළ බව කියා “වහා ගොස් මානවකයා සොයව”යි කීය. ඇමතියෝ මානවකයා සොයා මුළු නුවර ම කොතැනකවත් එබඳු මානවකයකු නැති බව රජුට දැන්වූහ.

ඒ බව අසා රජතෙමේ “මානවකයා සත්කාර නො කළ බැවින් කෝප ව යන්නට ඇතැ”යි සිතා තමා අතින් සිදුවූ වරද ගැන දොම්නසට පැමිණ ඒ නුවරවල් තුන ගැන නැවත නැවතත් සිතන්නට විය. නුවරවල් තුන ගැන හටගත්තා වූ ලෝභාග්නියෙන් ද, නොලැබීම නිසා හටගත්තා වූ ශෝකාග්නියෙන් ද, රජුගේ සිත කය දෙක ම තැවෙන්නට විය. අධික තැවීම නිසා රජුගේ ශරීරයේ ලේ උණු වී ලේ අතීසාර රෝගය හටගත්තේ ය. නොයෙක් ප්‍ර‍තිකාර කළමුත් රෝගය දිනෙන් දින උත්සන්න විය. වෙදුන්ට පිළියම් කරන්නට නො හැකි විය. රජ අතිශයින් වෙහෙසට පත් විය. වැඩි කලක් ජීවත්විය නොහෙන පමණට රජ දුර්වල විය. බලවත් ලෝභය තෙම ගින්නක් මෙන් සිත කය දෙක දවා සත්ත්වයන් පෙළන සැටි විනාශයට පමුණුවන සැටි මෙයින් දත යුතුය.

රජුගේ රෝගාතුර බව මුළු බරණැස පතළ විය. එකල්හි අප බෝසතාණෝ තක්සලා නුවරට ගොස් ශිල්ප උගෙන මව්පියන් සමීපයට පැමිණියාහු ඒ ප්‍ර‍වෘත්තිය අසා රජුට වෙදකම් කරම්හ යි ගොස් රාජද්වාරයෙහි සිට එක් තරුණ මානවකයෙක් වෙදකම් කරනු පිණිස පැමිණ සිටින බව රජතුමාට කියා යැවූහ. රජතෙමේ “මෙපමණ මහා වෛද්‍යවරයන්ටත් සුව කිරීමට නුපුළුවන් වූ රෝගය තරුණයෙක් කෙසේ සුව කෙරේ දැ” යි කියා “ඔහුට වැටුප් දී පිටත් කරව්” යයි කීය. එබස් අසා බෝසතාණෝ “මාගේ වෙදකමට වැටුප් ගැනුමක් නැත. බෙහෙත් මිළ පමණක් දෙනු මැනව” යි කියා යැවූහ. එකල්හි බෝසතාණන් කැඳවීය. බෝසතාණෝ ද රජු වැඳ කියන්නාහු “මහරජාණන් වහන්ස, නුඹ වහන්සේ බිය නොවනු මැනවි, මම නුඹ වහන්සේගේ රෝගය සුව කරන්නට සමර්ථ වෙමි. මා හට රෝග නිදානය පමණක් කියනු මැනවැ”යි කීහ. රජතුමා රෝග නිදානය කියන්නට ලජ්ජාවෙන් “එයින් නුඹට කම් නැත. හැකි නම් රෝගයට බෙහෙත් පමණක් කරව”යි කීය.

බෝසතාණෝ කියන්නාහු “මහරජ, වෛද්‍යයෝ නිදානය නො දත් රෝගයන්ට පිළියම් නො දන්නාහ. නිදානය දැන ඊට අනුරූප බෙහෙත් යොදා රෝග සුව කරන්නාහ. නුඹ වහන්සේගේ රෝගය සුව කරවා ගනු කැමැත්තහු නම් රෝග නිදානය නො සඟවා කියනු මැනව” යි කීහ. එකල්හි රජතුමා මානවකයාගේ පැමිණීමේ පටන් සියලු පුවත බෝසතාණන් වහන්සේට නොසඟවා කීය. “මාගේ රෝගය අනිකක් නිසා නොව තෘෂ්ණාව නිසා ම හටගත්තා වූ රෝගයෙක. ඉදින් හැකි නම් පිළියම් කරව” යි කීය. සිතින් හටගන්නා රෝගයන්ට බෙහෙත්වලින් ප්‍රයෝජන නොවේ. එබැවින් බෝසතාණන් වහන්සේ ධර්මානුශාසනයෙන් ඔහුගේ රෝගය සුව කරනු පිණිස අනුශාසනා කරන සේක් “මහරජ, කිමෙක්ද, ශෝක කිරීමෙන් රාජ්‍ය තුන ලැබේදැ”යි ඇසූහ. “දරුව නො ලැබේය” යි රජතුමා කීය. එකල්හි බෝසතාණෝ “මහරජාණෙනි, එසේ නම් කුමට ශෝක කරන්නහු ද? මේ ලෝකයෙහි සියල්ලන් විසින් ම අවිඤ්ඤාණක සවිඤ්ඤාණක සියලුම වස්තූන් තමාගේ ශරීරයත් සමග ම හැර පරලොව යා යුතුය. මහරජ, නුවරවල් සතරක ම රාජ්‍යය ගෙන ඔබ එකවර බත් තලි සතරක් වළඳන්නහු ද? යහන් සතරක නිදන්නහු ද? සතර දෙනකුගේ ඇඳුම් පැළඳුම් ඇඳ-පැළඳ ගන්නහුද? ලෝභයට වසඟ නො විය යුතුය. මේ ලෝභය වැඩෙන කල්හි සත්ත්වයාට සතර අපායෙන් මිදෙන්නට නො දෙන්නේ ය.” යනාදීන් අවවාද කොට ගාථා නවයකින් රජුට ධර්මදේශනා ද කළහ.

ඒ මෙසේ ය.

කාමං කාමයමානස්ස - තස්ස චේතං සමිජ්ඣති

අද්ධා පීතිමනෝ හොති - ලද්ධා මච්චෝ යදිච්චති.

අදහස :ධන ධාන්‍යාදි ලෝභනීය වස්තූන් කැමති වන්නා වූ ඒ පුද්ගලයා හට ඉදින් ඒ කැමති වූ දෙය සිද්ධ වූයේ නම් ලැබුනේ නම් මනුෂ්‍ය තෙමේ කැමැත්ත පරිදි ලැබ ඒකාන්තයෙන් සතුටු සිත් ඇත්තේ වන්නේ ය.

කාමං කාමයමානස්ස - තස්ස චේතං සමිජ්ඣති

තතෝ නං අපරං කාමෙ - ඝම්මෙ තණ්හංව වින්දති

අදහස: ධන ධාන්‍යාදි ලෝභනීය වස්තූන් කැමති වන්නා වූ ඒ සත්ත්වයා හට කැමති වූ දෙය සිද්ධ වූයේ නම් - ලැබුණේ නම් ඉන්පසු ග්‍රීෂ්ම කාලයෙහි පිපාසය මෙන් ඔහුට තව තවත් ලෝභය ඇති වන්නේ ම ය.

ගවං සිඞ්ගිනෝ සිඞ්ගං - වඩ්ඪමානස්ස වඩ්ඪති

එවං මන්දස්ස පොසස්ස - බාලස්ස අවිජානතො

භීය්‍යො තණ්හා පිපාසා ච - වඩ්ඪමානස්ස වඩ්ඪති.

අදහස: හටගත් අං ඇත්තා වූ ගවයා වැඩෙත් ම අං දෙක ද වැඩෙන්නාක් මෙන් නුවණ නැත්තා වූ සත්ත්වයා හට කාමතණ්හා කාම පිපාසයෝ වැඩෙන්නාහු ය.

පථව්‍යා සාලි යවකං - ගවාස්සං දාසපොරිසං

දත්වාපි නාලමේකස්ස - ඉති විද්වා සමං චරෙ.

අදහස: තුන් රජයක් තබා ඒ මානවකයා යමකුට පොළොවෙහි ඇති තාක් හැල්කෙත් යවකෙත් ආදි සියලු අවිඤ්ඤාණක ධනයත්, ගවාශ්වදාශාදි සියලු සවිඤ්ඤාණක ධනයත් දී ගියේ ද, තෘෂ්ණා වශික වූ පුරුෂයාට ඇති නො වන්නේ ය. එබැවින් නුවණැත්තේ තණ්හාවට වසඟ නොවී මනා කොට හැසිරෙන්නේ ය.

රාජා පසය්හ පඨවිං විජිත්වා

සසාගරන්තං මහිමා වසන්තෝ

ඔරං සමුද්දස්ස අතිත්තරූපෝ

පාරං සමුද්දස්සපි පත්ථයෙථ.

අදහස: අන්‍ය රාජ්‍යයන් අභිභවනය කොට පොළොව දිනා ගෙන සාගරය අවසන් කොට ඇති මුළු පොළොව ම අධිපති ව සිටින රජ ද සමුද්‍රයෙන් මෙතෙරින් තෘප්තියට නොපැමිණ සමුද්‍රයෙන් එතෙර ප්‍රදේශයන් ද ප්‍රාර්ථනා කරන්නේ ය. තෘප්තියට නො පැමිණෙන්නේ ය.

යාව අනුස්සරං කාමෙ - මනසා තිත්ති නාජ්ඣගා.

තතෝ නිවත්තා පටික්කම්ම දිස්වා

තේ වේ තිත්තා යේ පඤ්ඤාය තිත්තා.

අදහස: පුරුෂතෙමෙ ප්‍ර‍මාණාතික්‍රාන්ත වූද කාම වස්තූන් සිතින් සිහි කරන්නේ ද එයින් තෘප්තියකට නො පැමිණෙන්නේ ය. යමෙක් සිතින්, වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙන් හැරී අවුත් ශරීරයෙන් ද ඒ කාම වස්තූන්ගෙන් දුරුව ප්‍ර‍ඥාවෙන් කාමයන්ගේ ආදීනව දැක තෘප්තියට පැමිණියාහු නම් ඔවුහු ම තෘප්තිය ලැබුවෝ වන්නාහු ය.

පඤ්ඤාය තිත්තිනං සෙට්ඪං - නසෝ කාමේහි තප්පති

පඤ්ඤාය තිත්තං පුරිසං - තණ්හා න කුරුතේ වසං

අදහස: ප්‍ර‍ඥාවෙන් පරිපූර්ණවීම ශ්‍රේෂ්ඨ වන්නේ ය. හෙතෙමේ කාමයන් නිසා නො තැවෙන්නේ ය. තෘෂ්ණා තොමෝ ප්‍ර‍ඥාවෙන් තෘප්තියට පැමිණි පුරුෂයා ස්වකීය වශයෙහි නො පවත්වන්නී ය.

අපචිනේථෙව කාමානි - අප්පිච්ඡස්ස අලෝලුපෝ

සමුද්දමත්තෝ පුරිසෝ - න සෝ කාමෙහි තප්පති.

අදහස: වස්තුකාම ක්ලේශකාමයන් විධ්වංසනය කරව්, ලෝභය නැත්තේ ද, ලොල් නො වූයේ ද වන්නේය. මහාප්‍ර‍ඥාවෙන් යුක්ත වීමෙන් සමුද්‍ර‍ය වැනි පුරුෂයා සමුද්‍ර‍ය ගින්නකින් හුණු නො වන්නාක් මෙන් ක්ලේශ කාමය කරණකොට නො තැවෙන්නේ ය.

රථකාරොව චම්මස්ස - පරිකන්තං උපාහනං

යං යං ජහති කාමානං - තං තං සම්පජ්ජතේ සුඛං

සබ්බඤ්ච සුඛ මිච්ඡෙය්‍ය - සබ්බකාමේ පරිච්චජේ

අදහස: සම්කරුවා පාවහන් කපනුයේ සමෙහි නුසුදුසු වූ කොටස් කපා හැර පාවහන් කොට මිළ ලබා සැපවත් වන්නාක් මෙන් නුවණැත්තේ සම් කපන ආයුධය වැනි වූ තියුණු වූ ප්‍ර‍ඥාවෙන් කාමයන්ගෙන් යම් යම් කොටස් හරීද? ඔහුට ඒ ඒ කාම කොට්ඨාසයෙන් වෙන් වූ ඒ කාය වාග් මනඃකර්මය සැප පිණිස වන්නේ ය. සර්වකාරයෙන් සුඛය කැමති වන්නේ නම් ධ්‍යානය උපදවා සියලු කාමය හරනේ ය.

මෙසේ රජ්ජුරුවන්ට ධර්මදේශනා කරත් ම බෝසතාණන් වහන්සේට ද ශ්වේතඡත්‍ර‍ය අරමුනු කොට ඔදාත කසිණධ්‍යානය උපන්නේ ය. රජතුමා ද නිරෝගි වූයේ ය. රජතුමා නිරෝගීව යහනින් නැගී සිට කියනුයේ “මෙතෙක් මහා වෛද්‍යයෝ මා සුවපත් කරවීමට අසමර්ථ වූහ. මේ පණ්ඩිත මානවකයා තමාගේ ප්‍ර‍ඥාව නමැති ඖෂධයෙන් මා සුවපත් කෙළේ ය” යි ස්තුති කොට, මානවකය, ඔබගේ ගාථාවෝ දහස බැගින් අගනේය. එක් එක් ගාථාවකට කහවණු දහස බැගින් පිළිගනු මැනව” යි කීය. බෝසතාණන් වහන්සේ තමන් ධ්‍යාන උපදවාගත් බව රජතුමාට දන්වා කහවණු ප්‍ර‍තික්ෂේප කර තව දුරටත් රජතුමාට අවවාද කොට අහසට පැන නැගී හිමාල වනයට ගොස් පැවිදි ව බ්‍ර‍හ්ම විහාරයන් භාවනා කොට බ්‍ර‍හ්මලෝකයට ගිය සේක.

මෙම ලක්දිව රජ කළ මහාදාඨික රජතුමා අන්තඃපුර ස්ත්‍රීන් හා දන් දෙනු පිණිස සෑගිරි විහාරයට ගිය අවස්ථාවක දී අතිශයින් රූපසම්පන්න වූ ප්‍ර‍ථම වයසෙහි සිටියා වූ දමිළදේවී නම් වූ මෙහෙසිය දැක හටගත් ලෝභයෙන් දවනු ලැබ චිත්ත නම් එක්තරා ස්ථවිර කෙනෙක් උමතු වූයේ ය.

දිනක් මෙම ලක්දිව රජය කළ සද්ධාතිස්ස මහරජතුමා අන්තඃපුර ස්ත්‍රියක දෙස බැලුවේ ය. ඕතොමෝ ද ගමන නවතා ඒ තරුණයා දෙස බලා සිටියා ය. මඳ වේලාවකදී ම ඒ දෙදෙනා තුළ ඔවුනොවුන් ගැන හටගත්තා වූ රාගාග්නිය වැඩී එයින් දවනු ලැබ දෙදෙනාම එතන ම මළහ.

දඹදිව උත්තරමධුරා නම් නගරයෙහි චණ්ඩාල බ්‍රාහ්මණයකුගේ දුවක් වූ ස්වර්ණතිලකා නම් වූ තරුණිය දැක උපන්නා වූ ලෝභයෙන් මුළාව, “මෙබඳු ස්ත්‍රී රත්නයක් නො ලබා ජීවත් වීමෙන් කවර ප්‍රයෝජනයක් දැ” යි සිතා කඩු ගෙන සියතින් ම තම තමාගේ ගෙල සිඳ රජවරු පස් දෙනෙක් ම මළහ. ඔවුන් දිවි නසා ගත්තේ සවර්ණතිලකාව චණ්ඩාලියක නිසා ඇය භාර්‍ය්‍යාව කර ගත නො හැකි බැවිනි. පසුව ස්වර්ණතිලකාවගේ සැමියා වූ උද්දාල බ්‍රාහ්මණයා ද ස්වර්ණතිලකාවගේ මරණයෙන් හටගත් ශෝකයෙන් ගින්නට පැන දිවි නසා ගත්තේ ය. බලවත්ව හටගන්නා ලෝභය ගින්නක් මෙන් සත්ත්වයන් තවා විනාශ කරන බව හා ශෝක කරවා මහානුභාව සම්පන්නයන් පවා මහත් සේ හඬවන බව ද කියන ලද උදාහරණ කථාවලින් වටහා ගත යුතු. බුදුන් වහන්සේ විසින් ද මෙසේ වදාරන ලදි.

තණ්හාය ජායතී සෝකෝ - තණ්හාය ජායතී භයං

තණ්හාය විප්ප මුත්තස්ස - නත්ථි සොකො කුතො භයං

තෘෂ්ණාව හේතු කොට ශෝකය හටගන්නේ ය. තෘෂ්ණාව හේතු කොට භය හට ගන්නේ ය. තෘෂ්ණාවෙන් වෙන් වූවහුට ශෝකයක් නැත. භයක් කොයින් ද? යනු මෙහි අදහසයි.

ලෝභනීය වස්තූන් සොයවා සත්ත්වයන් වෙහෙසවීම.

තමහට නැත්තා වූ යම්කිසි වස්තුවක් ගැන ලෝභය හටගත්තා වූ පුද්ගලයා ඒ වස්තුව ලබනු පිණිස ලැබෙන තෙක් දිවා රාත්‍රි දෙක්හි නොයෙක් දේ කරමින් වෙහෙසෙන්නේ ය. සමහරවිට යම් කිසි එක දෙයක් නිසා ම මනුෂ්‍යයා මාස ගණන් අවුරුදු ගණන් මුළුල්ලෙහි ද වෙහෙසෙන්නේ ය.

පෙර බරණැස් නුවර විසූ ගන්ධ සිටාණන් අනුභව කරන ලක්ෂයක් වටිනා බතෙහි සුවඳ අසා, ඒ බත ගැන ලෝභ කොට එබඳු බත් තලියක් ලබනු සඳහා එක් දුගී පුරුෂයෙක් ගන්ධ සිටාණන්ට තුන් අවුරුද්දක් වැඩ කෙළේ ය.

බරණැස් නුවර ම තවත් දිළිඳු පවුලක ස්ත්‍රියක් අලංකාර වූ වස්ත්‍ර‍යක් දැක එයට ලෝභ කොට ඒ වර්ගයේ වස්ත්‍ර‍යක් ලබනු සඳහා එක් පොහොසත් ගෙයකට ගොස් තුන් අවුරුද්දක් වැඩ කළාය.

සෙස්සන් තබා මහබෝසත් කුසරජතුමා ද ප්‍ර‍භාවතිය කෙරෙහි ලෝභයෙන් ශක්‍ර‍සම්පත්තිය වැනි වූ කුසාවතී රාජධානියෙහි රාජ්‍ය ශ්‍රීය හැර මදුරට සාගල පුරයට ගොස් කුඹල්කම් - කුළුපොතු කම් - මල් කම් කිරීමෙන් ද, අනුන්ට අහර පිසීමේන් ද, වළං සේදීමෙන් ද, දිය දර ඇදීමෙන් ද, වසුන්කත් ඇදීමෙන් ද, සත් වසක් මුළුල්ලෙහි වෙහෙසුණේ ය.

මොවුන් මෙසේ මහත් වූ වෙහෙසට පැමිණියේ අනිකක් නිසා නොව ඔවුන් තුළ හටගත්තා වූ ලෝභය නිසා ම ය. එබැවින් ලෝභය ලෝභනීය වස්තු සොයා සත්ත්වයා වෙහෙසවන්නා වූ ධර්මයක් බව දත යුතු.

අහිත දෑ කරවා සත්ත්වයා විනාශයට පැමිණවීම.

සිත්සතන්හි හටගන්නා වූ ලෝභයේ මෙහෙයීමෙන් ඇතැම්හු අන්තරාය සහිත වූ සංග්‍රාම භූමි ගංගා සමුද්‍ර‍ වනදුර්ග ගිරිදුර්ගාදී නො යා යුතු තැන්වලට ගොස් මහාදුඃඛයට හෝ මරණයට පැමිණෙති. ඇතැම්හු ආශ්‍ර‍ය නො කළ යුත්තන් හා ආශ්‍ර‍යට ගොස් මහා දුඃඛයට හෝ මරණයට පත්වෙති. ඇතැම්හු අනුන් අයත් වස්තු ආදි නො ගතයුතු දේවල් ගැනීමෙන් හෝ ගන්නට යාමෙන් මහා දුඃඛයට හෝ මරණයට පත්වෙති. ඇතැම්හු අපථ්‍යාහාර අබින් ආදී නො කෑ යුතු දේ කා මහාදුඃඛයට පත්වෙති. ඇතැම්හු මත්පැන් අපථ්‍යපානාදි නො පියුතු දෑ පානය කොට මහා දුඃඛයට හෝ මරණයට පත්වෙති.

ලෝභය නිසා මරණයට පත් පිරිසක්.

එක් කලෙක අප මහ බෝසතාණෝ බරණරස බඹදත් රජුගේ සියයක් පමණ පුත්‍ර‍යන්ගෙන් සියල්ලන්ට මළණුව ඉපද ක්‍ර‍මයෙන් වැඩිවිය පැමිණියෝ ය. එකල්හි ඒ රජගෙදර පසේ බුදුවරයන්ට දන් දෙන්නේ ය. දිනක් බෝසතාණෝ පැමිණියා වූ පසේ බුදුවරයන්ට වත් කොට “තමන් වහන්සේට ඒ නුවර රාජ්‍යය ලැබේ දැ” යි උන්වහන්සේලාගෙන් විචාළෝ ය.

එකල්හි පසේ බුදුවරයෝ කියන්නාහු “කුමාරයෙනි, මේ නුවර රාජ්‍යය තොප නො ලබන්නාහු ය. ඉදින් ගන්ධාර රට තක්සලා නගරයට යන්නහු නම් මෙයින් සත්වන දිනයෙහි එහි රාජ්‍යය ලබන්නහු ය. එහි යන මාර්ගයෙහි මන වනයක් ද ඇත්තේ ය. එයින් නො යන කල්හි මාර්ගයෙහි සියක් යොදුනක් වන්නේ ය. වන මැදින් යතහොත් මාර්ගය පනස් යොදුනක් වන්නේ ය. ඒ වනය නම් අමනුෂ්‍ය කාන්තාරයකි. එහි වෙසෙන යක්ෂණියෝ මගීන් දුටු කල්හි ගම් මවා උඩුවියන් වට තිර ආදියෙන් අලංකාර කරන ලද මනහර යහන් ඇති සිත්කළු ශාලා මවා තමා ද දිව්‍යාංගනාවන් සේ මනහර වස්ත්‍රාභරණයෙන් සැරසී ශාලාවන්හි හිඳ පුරුෂයන්ගේ සිත් ගන්නා වූ රූප විලාසයන් දක්වමින් සිත් ගන්නා සුලු වූ මිහිරි වදනින් සංග්‍ර‍හ කොට මගීන් අමතා, “මෙහි අවුත් පැන් බී මඳක් හිඳ විඩා සංසිඳුවාගෙන යන්නය” යි කියා කැඳවා ආවවුන් රාගයෙන් මත් කරවා අල්ලා කන්නාහ. මගීන්ගෙන් රූපයට ලෝභ කරන්නවුන් මනහර ස්ත්‍රී රූප විලාස දක්වා ඔවුන්ගේ වසඟයට ගෙන කන්නාහ. ශබ්දයට ලෝභ කරන්නවුන් ගීතවාදිතාදි ශබ්දයෙන් ද, ගන්ධයට ලෝභ කරන්නවුන් මනහර සුගන්ධයෙන් ද, රසයට ලෝභ කරන්නවුන් සුමිහිරි බොජුනෙන් ද, ස්පර්ශයට ලෝභ කරන්නවුන් දිව්‍ය යහන්වලින් ද, පොළඹවා ස්වවශයට ගෙන කන්නාහ. ඉදින් ඔවුන්ගේ මායම්වලට අසු නො වී ඔවුන් නො බලා සිත රැක ගියහු නම් සත්වන දිනයෙහි රජය ලබන්නහු ය” යි කීහ. මහබෝසතාණෝ “ස්වාමීනි, නුඹ වහන්සේලාගේ අවවාද ලත් මම කුමට ඔවුන් බලන්නෙම් දැ” යි කියා පිරිත් පැන්, පිරිත් වැලි, පිරිත් නූල් ද ගෙන පසේ බුදුවරුන්ට හා මව්පියන්ට ද වැඳ සමුගෙන රජය ගැනුමට තක්සලා නුවරට යන බව තමන් වහන්සේගේ සේවක පුරුෂයන්ට ද කීහ. එකල්හි පුරුෂයෝ පස් දෙනෙක් “අපි ද ඔබ තුමා හා එන්නෙමු” යි කීහ. එකල්හි බෝසතාණෝ මාර්ගය පිළිබඳ පසේ බුදුවරයන් කී තතු කියා “නුඹලා එහි යාමට නුසුදුස්සෝ ය. මා පමණක් සිත හික්මවාගෙන එහි යමියි” කීහ. එකල්හි පුරුෂයෝ පස්දෙන කියන්නාහු “දේවයන් වහන්ස, නුඹ වහන්සේ සමඟ යන්නා වූ අපි ඒ ප්‍රිය රූප දෙස කුමට බලන්නෙමුද? අපි ද නුඹ වහන්සේ යන පරිද්දෙන් ම යන්නමෝ නො වෙමුදැ” යි කීහ. බෝසතාණෝ “එසේ නම් පරෙස්සම් වව්” යි කියා ඔවුන් සමඟ මඟට බැස්සේ ය.

වනයට පැමිණි කල්හි යක්ෂණියෝ ගම් මවා ශාලා මවා සිටියාහු ය. පුරුෂයන් පස්දෙනා ගෙන් රූපයට ඇලුම් කරන්නා වූ තැනැත්තා දිව්‍යාංගනාවන් සේ පෙනී සිටි යකිනියන්ගේ රූපයෙහි බැඳී මඳක් පසු විය. බෝසතාණෝ “පින්වත, පසුවන්නේ කුමටදැ” යි ඇසූහ. “දේවයන් වහන්ස, පා බොහෝ රිදෙන්නාහ. මඳක් ශාලාවෙහි නැවතී එමි” යි පුරුෂයා කීය. බෝසතාණෝ කියන්නාහු “පින්වත, මොහු යක්ෂණියෝ ය, මොවුන් ගැන ආශා නො කරව” යි කීහ. “දේවයන් වහන්ස, වන දෙයක් වේවා! මෙහි ම මඳක් නවතිමි” යි පුරුෂයා කීය. බෝසතාණෝ ඉතිරි පුරුෂයන් සතර දෙනා හා ඉදිරියට ගමන් කළහ. යකිනියෝ ඒ පුරුෂයා මරා කා ඉදිරියට ගොස් ගමක් මවා නොයෙක් තූර්‍ය්‍යයන් වාදනය කරමින් උන්හ. ශබ්දයට ලෝභ කරන්නා වූ පුරුෂයා එහි නැවතිණ. යකිනියෝ ඔහු ද කා ඉදිරියට ගොස් ගමක් මවා එහි නොයෙක් සුවඳ දෑ තැබූ වෙළෙඳ සැල් මවා සිටියෝ ය. ගන්ධයට ලෝභ කරන්නා වූ පුරුෂයා එහි නැවතිණ. යකිනියෝ ඔහු ද කා ඉදිරියට ගොස් ගමක් මවා කෑම වෙළෙඳ සැල් මවා හුන්හ. රස ලෝභී පුරුෂයා එහි නැවතිණ. යකිනියෝ ඔහු ද කා ඉදිරියට ගොස් ගමක් මවා ශාලාවන්හි දිවයහන් මවා සිටගත්හ. ස්පර්ශයට ලෝභී වූ පුරුෂයා එහි නැවතිණ. එහි දී පුරුෂයා ද යකිනියන් විසින් කන ලදුව බෝසතාණන් වහන්සේ තනි වූහ.

එක් යකින්නක් “මේ පුරුෂයා ඉතා තද මන්ත්‍ර‍ කාරයෙක. කොයි ලෙසකින් වුවත් මොහු ද කන්නෙමි” යි බෝසතාණන් ලුහුබැඳ ගියා ය. වනය ඉක්මවා බෝසතාණන් ගිය කල්හි වනයෙන් ඔබ්බෙහි වන කාර්මික මනුෂ්‍යයෝ යකින්න දැක “ඉදිරියෙහි යන පුරුෂයා තිගේ කවුරුදැ” යි ඇසූහ. යකින්න, “ඒ මාගේ සැමියා” ය යි කීය. එකල්හි ඒ මනුෂ්‍යයෝ බෝසතාණන් වහන්සේට කියන්නාහු “පින්වත, රන්වන් වූ මල්දමක් වැනි වූ මොළොක් වූ මේ කුමරිය සිය නිවෙස හැර ඔබතුමා පතා පස්සෙන් එන්නීය. මැයට දුක් නො දී නො ගෙන යන්නේ කුමක් නිසාදැ” යි කීහ. බෝසතාණෝ “පින්වත්නි, මෝ මගේ භාර්‍ය්‍යාව නො වන්නීය, මෝ යක්ෂණියක. මැය විසින් මාගේ පුරුෂයෝ පස් දෙනා ද කන ලද්දාහ”යි කීය. යකින්න ද “පින්වත්නි, පුරුෂයෝ වනාහි කිපි කල්හි, භාර්‍ය්‍යාවන් යකින්නන් ප්‍රේතයන් කර කථා කරන්නාහ” යි කියමින් බෝසතුන් පසුපස්සේ ම ගියාය. යකින්න ඉන් ඔබ්බෙහි ගැබිනි වේසයෙන් ද, කුඩා දරුවකු ගත් මවක වේසයෙන් ද බෝසතාණන් ලුහුබැන්ඳාය. බෝසතාණෝ ද මඟ අසන්නවුන්ට පෙර සේ කියන්නාහු තක්සලා නුවරට පැමිණියෝ ය. පසුව යකින්න දරුවා අතුරුදහන් කොට එකලාව බෝසතාණන් ලුහු බැන්ඳා ය. බෝසතාණෝ ද නගරද්වාරයෙහි එක් සාලාවක නැවතුණෝ ය. බෝසතාණන් ගේ තේජසින් යකින්නට සාලාවට ඇතුළුවන්නට නො හැකිව දිව්‍ය කන්‍යාරූපයක් මවා ගෙන සාලාව දොරකඩ සිටියා ය.

ඒ දවස තක්සලා නුවර රජතුමා උයනට යනුයේ යකින්න දැක ඇය කෙරෙහි ලෝභ කොට “ඇයට සැමියකු නැති බව දැන එව” යි මිනිසකු යැවීය. ඒ පුරුෂයා යකින්න වෙත ගොස් සැමියකු ඇති නැති බව විචාළේ ය. යකින්න “සාලාවෙහි සිටින පුරුෂයා මගේ සැමියාය”යි කීවාය. බෝසතාණෝ ඇය තමාගේ භාර්‍ය්‍යාව නොව යකින්නක් බව කීහ. ඒ පුරුෂයා දෙදෙනා ම කී බස් රජුට දැන්වීය. රජ තෙමේ “අස්වාමික වස්තු රජුට අයත් යැ” යි යකින්න කැඳවා ඇතුපිට නංවා ගෙන නුවර ප්‍ර‍දක්ෂිණා කර රජගෙට ගොස් යකින්න අග මෙහෙසිය කර ගත්තේ ය.

රජ තෙමේ ස්නානය කොට සුවඳ ගල්වා රාත්‍රී භෝජනය වළඳා සිරියහනයට ගියේ ය. යකින්න ද අහර වළඳා අලංකාරයෙන් සැරසී රජුගේ යහන්හි ම රජු හා නිදා රාත්‍රියෙහි දී හඬන්නට වූවා ය. රජු විසින් හඬන්නට කරුණ විචාළ කල්හි යකින්න කියන්නී “දේවයන් වහන්ස, මම වනාහි නුඹ වහන්සේ විසින් මඟදී දැක ගෙනෙන ලද්දෙමි. මේ රජගෙයි බොහෝ ස්ත්‍රීහු වසන්නාහ. ඔවුන් විසින් තිගේ මව හෝ පියා කවුරු දනිද් ද? ජාතිය හෝ ගෝත්‍ර‍ය කවුරු දනිත් ද? තී මඟදී දැක ගෙනෙන ලද්දියක් යයි, කථා ඉපද වූ කල්හි මම හිසට ගසනු ලබන තැනැත්තියක සේ දුර්මුඛ වන්නෙමි. නුඹ වහන්සේ විසින් මේ රාජ්‍යයෙහි අධිපතිකම මට දෙතහොත් කිසිවෙක් එසේ මට පීඩා කරන්නට සමර්ථ නොවන්නාහ”යි කීවාය. රජ තෙමේ ඇගේ ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කළේය. එකල්හි යකින්න “දේවයන් වහන්ස, රාජ්‍යයට ඊශ්වරත්වය නොදෙන්නාහු නම් මේ රජ ගෙදරට පමණවත් මට අධිපතිකම දුන මැනව”යි කීවාය. රජ තෙමේ දිව්‍යමය ස්පර්ශයෙන් ඇය කෙරෙහි බැඳුනේ ඇගේ ඉල්ලීම ඉක්මවන්නට අසමර්ථව රජ ගෙදරට අධිපතිකම යකින්නට දුන්නේ ය. යකින්න “යහපතැ”යි පිළිගෙන රජු නින්දට වන් කල්හි යක්ෂ නගරයට ගොස් බොහෝ යකුන් කැඳවා අවුත් රජ ගෙදර ඌරන් කුකුළන් පවා නො තබා සියල්ලන් ම මරා කා ඇට පමණක් ඉතිරි කළා ය. දෙවන දවස්හි රජ ගෙදරට කිසි ශබ්දයකුදු නොමැතිව දොරවල් ද වැසූ පරිද්දෙන් තිබෙනු දැක නුවර වැසියෝ දොරවල් කඩා රජගෙට පිවිස බැලූ කල්හි එහි සිටියවුන්ගේ ඇට පමණක් දැක කියන්නාහු “ඊයේ ශාලාවෙහි සිටි පුරුෂයා ඒ ස්ත්‍රිය යකින්නයකැයි කීයේ සැබෑවක් ම ය. රජ කිසිත් නොදැන රාගයෙන් මත් ව යකින්න භාර්‍ය්‍යාව කොට ගෙයි තබා ගත්තේ ය. ඒ යකින්න තවත් යකුන් කැඳවා ගෙනවුත් රජගෙදර සියල්ලන්ම කා යන්නට ඇත” ය යි කියන්නට වූහ. බෝසතාණෝ ද ඒ රාත්‍රියෙහි හිසෙහි පිරිත් වැලි ඉසගෙන, පිරිත් හුය වට කොට ඇදගෙන කඩුව ද අතින් ගෙන නො නිදා ම සිට රාත්‍රිය පහන් කළහ.

නුවර වැසියෝ රජමාළිගය ශුද්ධ කොට ගොම ගා ඒ මතුයෙහි සුවඳ ගල්වා මල් ඉස දම් එල්වා සුවඳ දුම් දී සරසා එහි රැස්ව යෝජනා කරන්නාහු “පින්වත්නි, යම් පුරුෂයෙක් දිව්‍ය රූපයෙන් පසු පස්සේ ආ යකින්නට නොරැවටුණේ ද, අනුරාගයෙන් ඇය දෙස බැලීම පමණකුත් නො කෙළේ ද, ඔහු ඉතා උදාර පුද්ගලයෙක, ධෛර්‍ය්‍යය ඇත්තෙක, නුවණැත්තෙක, එබඳු පුරුෂයකු රටට අනුශාසනා කරන කල්හි මුළු රට ම සැපවත් වන්නේ ය. එබැවින් ඔහුට රාජ්‍යය පවරමු”ය යි යෝජනා කළහ. ඒ යෝජනාව ඒකච්ඡන්දයෙන් පිළිගෙන බෝසතාණන් රාජ්‍යයෙහි අභිෂේක කළෝය. බෝසතාණන් හා ගිය පුරුෂයන් පස් දෙනාට මරණයට පැමිණෙන්නට සිදුවූයේ ඔවුන් තුළ හටගත්තා වූ ලෝභය නිසා යක්ෂණියන් කරා යාම ය. තක්සලා රජුට අඹුදරුවන් සමග නැසෙන්නට වූයේ ද හටගත්තා වූ ලෝභයෙන් යක්ෂණිය භාර්‍ය්‍යා කර ගැනීමෙනි. මහා පුරුෂයාණෝ වනාහි ලෝභය වූ චිත්තෝපක්ලේශ ධර්මයට අවකාශ නො කොට සිත රැක ගත් බැවින් කිසිදු විපතකට භාජනය නොවී රාජ්‍ය ශ්‍රීයට ද පැමිණියෝ ය. උන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණි පසු ද මේ අතීත කථාව ගෙනහැර දක්වා -

“සමතිත්තිකං අනවසේසකං

තේලපත්තං යථා පරිහරෙය්‍ය,

එවං සචිත්ත මනුරක්ඛෙ

පත්ථයානො දිසං අගතපුබ්බං”

යනු වදාරන ලදි.

මුවවිට හා සම ව තෙලින් පිරී තිබෙන පාත්‍ර‍ සෙලවී තෙල් නො ඉසිරෙන සේ ගෙන යන්නාක් මෙන් කිසි කලෙක නො ගිය විරූ දිශාව යයි කියන ලද නිවන ප්‍රාර්ථනා කරන්නා වූ තැනැත්තේ ස්වකීය චිත්තය රක්නේ ය.

ලෝභයේ වැඩීම

සිත් පිනවන්නා වූ වස්තුවක් දුටු කල්හි ද ඇසූ කල්හි ද සිතට අරමුණු වූ කල්හි ද සිහි නුවණින් තොරව වාසය කරන්නා වූ සත්ත්වයාගේ සිත්සතන්හි ඒ ඒ වස්තූන් සම්බන්ධයෙන් ලෝභය හට ගැනීම ස්වභාවයකි. ලෝභය හටගත් පසු එයට නැවත නැවතතත් ඇති වන්නට නො දී දුරු කර ගතහොත් යෙහෙකි. එසේ නො කරන ලද්දේ නම් ඒ ලෝභය සත්ත්වයාගේ චිත්තසන්තානය දවමින් තවමින් නැවත නැවතත් ඒ වස්තුව ලබන තෙක්ම පහළ වන්නේ ය. ලැබූ කල්හි ද ඒ ගැන සතුටුවීම් වශයෙන් නැවත නැවතත් ලෝභය හටගන්නේ ය. ඒ වස්තුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් උවමනා නොයෙක් දේ පිළිබඳව ද තව තවත් ලෝභයන් හටගන්නේ ය. එබැවින් මේ ලෝභය එක් වස්තුවකින් පටන් ගෙන ගංගාවක් සේ ඉතා දිගට වැඩෙන්නෙකැ යි කියන ලදි.

ලෝභයේ නො පිරවිය හැකි බව

පොළොවෙහි ඇති තාක් ගං හෝ වලින් මහා ජලස්කන්ධයක් පොළොව ඇති වූ කාලයේ පටන් අද දක්වාත් සාගරය කරා ගලා බසින මුත් මහාසාගරය ජලයෙන් නො පිරෙන්නේ ය. අදත් පැමිණෙන තාක් ජලය මහා සාගරය ගන්නේ ය. නො පිරෙන්නා වූ ඒ මහා සමුද්‍ර‍ය සේ සත්ත්වයාගේ ලෝභය ද කිසි කලෙක නො පිරෙන්නේ ය. සියයක් ලැබූ කල්හි ලෝභය වැඩී දහසක් පතන්නේ ය. දහස ලැබූ කල්හි දස දහසක් පතන්නේ ය. දස දහස ලද හොත් ලක්ෂයක් පතන්නේ ය. ලක්ෂය ලැබූ කල්හි කෝටියක් පතන්නේ ය. එක් රටක් ඇති රජ තවත් රටක් පතන්නේ ය. එය ද ලදහොත් තවත් රටක් පතන්නේ ය. එය ද ලදහොත් තවත් රටක් පතන්නේ ය. එයත් ලදහොත් තවත් රටවල් පතන්නේ ය. මුළු පොළොව ම එක් රජකුට වුව ද තෘප්තියට පැමිණීමක් නම් නො වන්නේ ය. ලෝභයේ වැඩෙන ස්වභාවයට හා අතෘප්තකර බවට සාධක වශයෙන් මන්ධාතු රජතුමාගේ කථාව දක්වති. ඒ මෙසේ ය. –

මන්ධාතු රජතුමාගේ කථාව

කල්පයාගේ පටන් ගැන්මේ දී මහා සම්මත නම් රජෙක් විය. එතුමාගේ පුත්‍ර‍යා රෝජ නම් විය. ඔහුගේ පුත්‍ර‍ා වරරෝජ නම් විය. ඔහුගේ පුත්‍ර‍යා කල්‍යාණ නම් විය. ඔහුගේ පුත්‍ර‍යා වරකල්‍යාණ නම් විය. ඔහුගේ පුත්‍ර‍යා උපෝසථ නම් විය. ඔහුගේ පුත්‍ර‍යා මන්ධාතු නම් විය. එතුමා වනාහි සප්ත රත්නයෙන් හා සෘද්ධි සතරකින් ද යුක්ත වූ චක්‍ර‍වර්ති රජෙක් විය. එතුමා සත් රුවන් වැසි වස්සන්නට ද සමර්ථයෙක් විය. එතුමා සුවාසූ දහසක් වර්ෂ කුමාර ක්‍රීඩා කෙළේය. සුවාසූ දහසක් වර්ෂ සක්විති රජකම් කෙළේය. එතුමාගේ මුළු වයස වර්ෂ අසංඛ්‍යයකි. එතුමා එක් දිනක් තණ්හාව පුරවන්නට අසමර්ථව කලකිරුණු ස්වභාවයකින් සිටියේ ය. ඇමැත්තෝ “දේවයන් වහන්ස, කුමට කලකිරී සිටින සේක්දැ”යි ඇසූහ. එකල්හි රජතුමා කියනුයේ “මාගේ පින් බලේ සැටියට මේ රාජ්‍යය සුළු ය. මෙය කුමටද? සැප ඇති තැනක් ඇත්තේ කොහි දැ”යි කීය. ඇමතියෝ “දේවයන් වහන්ස, දිව්‍ය ලෝකය නම් මෙයට වඩා සැප ඇති තැනකැ”යි කීහ.

එකල්හි එතුමා චක්‍ර‍රත්නානුභාවයෙන් සිය පිරිසත් සමග චාතුර්මහාරාජික දිව්‍යලෝකයට ගියේ ය. එහිදී දෙවිවරු එතුමා පිළිගෙන රාජ්‍යය ද දුන්හ. ස්වකීය පිරිස ද පිරිවරාගෙන එතුමා එහි දීර්ඝකාලයක් දිව්‍ය රාජ්‍යය කෙළේය. දිව්‍ය රාජ්‍යය ලැබීමෙන් ලෝභය තවත් වැඩුණා මිස එතුමා තෘප්තියට පත් නොවී ය. තිබෙන සම්පත්වල මඳ බව කල්පනා කොට එතුමා එහි ද කලකිරුණේ ය. සතරවරම් දෙවිවරු එතුමා කරා එළඹ “කුමට කලකිරී සිටිනෙහි දැ”යි විචාළෝ ය. මන්ධාතු රජතුමා “මෙයට වඩා සැප ඇති තැනක් නැත්දැ”යි විචාළේ ය. එකල්හි දෙවිවරු තව්තිසා දෙව්ලොව එයට වඩා සැප ඇති තැනක් බව කීහ. මන්ධාතු රජතුමා සිය පිරිස සමග එහි ද ගියේ ය. එහිදී ද ශක්‍ර‍යන් විසින් එතුමාට රාජ්‍යයෙන් අඩක් දෙන ලද්දේ ය. මන්ධාතු රජතුමා එහි රජකම් කරද්දී ම අවුරුදු තුන් කෝටි සැටලක්ෂයක් වූ ආයුෂය ගෙවී ශක්‍ර‍ තෙමේ කාලක්‍රියා කෙළේය. දෙවෙනි ශක්‍රයෙක් පහළ වී ඔහු ද එපමණ කල් රාජ්‍යය කොට මිය ගියේ ය. මේ ක්‍ර‍මයෙන් ශක්‍ර‍න් සතිස් දෙනකුන් රජකම් කරන තුරු මනුෂ්‍ය වූ මන්ධාතු රජතෙමේ එහි රජය කරමින් විසුවේ ය. කල් යත් යත් ඔහුගේ ලෝභය තවත් වැඩුණේ ය. ඔහුට ශක්‍ර‍යා මරා මුළු රාජ්‍යය ම ගන්නට සිත් විය. ශක්‍ර‍යා නොමැරිය හැකි කෙනෙකි. අධික ලෝභය ඔහුගේ විපතට හේතු විය. ශරීරය දිරා ගියේ ය. මරණයට ළංව සිටියේ ය. එකල්හි එතුමා දෙව්ලොවින් බැස මිනිස් ලොව තමාගේ උයනට පැමිණියේ ය. උයන් පාලකයා මන්ධාතු රජු පැමිණි බව රජගෙට දැන්වීය. රජ ගෙයින් නෑයෝ අවුත් එතුමාට උයනෙහි ම යහනක් පැනවූහ. රජතුමා එහි මතු නො නැගිටින සේ සැතපුණේ ය. ඇමැත්තෝ “මහරජාණෙනි, නුඹ වහන්සේගෙන් මතු මහජනයාට කුමක් කියන්නමෝදැ”යි විචාළෝ ය. එකල්හි එතුමා මාගේ ඇවෑමෙන් මහජනයාට “මන්ධාතු රජතුමා දෙදහසක් පිරිවර කොදෙව් ඇති සතර මහාද්වීපයෙහි චක්‍ර‍වර්තී රජකම කොට, චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයෙහි ද රාජ්‍ය කොට, ශක්‍ර‍යන් සතිස් දෙනකුන් නික්මෙන තුරු තව්තිසා දෙව්ලොව ද රජසිරි විඳ තෘෂ්ණාව සම්පූර්ණ කළ නොහැකිව ම කාලක්‍රියා කෙළේ ය යන පණිවිඩය කියව්” ය යි කාලක්‍රියා කෙළේ ය.

මේ රජතුමාට මුළු පොළොවත් ලැබ දිව්‍යලෝක දෙකක රජ බවත් ලැබ තෘප්තියට පැමිණෙන්නට නුපුළුවන් වූ කල්හි වස්තු ස්වල්පයකින් කෙසේ මේ ලෝභය පිරවිය හැකි ද? නො හැකි ම ය. වස්තුව සොයා කිසි කලෙක කිසිවකුට ලෝභය සම්පූර්ණ කොට තෘප්තියට පැමිණ ප්‍රීතියෙන් සිටින්නට නොලැබේ. තෘප්තියට පැමිණිය හැක්කේ ලෝභය දුරු කිරීමෙන් ම ය. ලෝභය උපදනා වස්තූන් සපයත් ම නැවත නැවත දර ලන ගිනි කඳක් සේ ලෝභය තව තවත් වැඩෙන්නේ ය. ඒ බව දත්තා වූ නුවණැත්තෝ ඒ ලෝභය දුරු කොට පරම ශාන්ත නිවන් සුවය හිමිකර ගත්තෝ ය.

ලෝභය දුරු කිරීම දුෂ්කර බව

සත්ත්වයන් විසින් බොහෝ අමාරුවෙන් නැවත නැවත භාවිත කිරීම් වශයෙන් සිත්හි තබා ගැනීමට රඳවා ගැනීමට උත්සාහ කරන්නා වූ නොයෙක් කරුණු ද අමතක වී සිතින් පහවී යයි. නුමුත් යම්කිසි වස්තුවක් ගැන හෝ පුද්ගලයකු ගැන හෝ හටගන්නා වූ ලෝභය වනාහි ලෙහෙසියෙන් සිතින් පහව යන්නේ නො වේ. සමහර විට එක් දෙයක් ගැන හටගත්තා වූ ලෝභය මතු මතු උපදනා ජාති ගණනක් මුළුල්ලෙහි සත්ත්වයාගේ සිතින් තුරන් නොවී පවතී. එබැවින් ඒ ලෝභය තෙලින් දිය කළ දැලි සේ තදින් අල්ලා ගන්නා වූ දුරු කිරීමට දුෂ්කර වූ දෙයකැයි කියන ලදි. ලෝභයේ කල් පවත්නා ස්වභාවය මතු දක්වන කථාවෙන් පැහැදිලි වේ.

භාර්‍ය්‍යාව කෙරෙහි ඇලුම් කළ පුරුෂයාගේ කථාව

පෙර එක් පුරුෂයෙක් සහෝදරයාගේ භාර්‍ය්‍යාව හා මිථ්‍යාචාරයෙහි යෙදෙන්නට පටන් ගත්තේ ය. ඇයට සැමියාට වඩා හෙතෙමේ ම අතිශයින් ප්‍රිය විය. එක් දවසක් ස්ත්‍රිය සොර සැමියාට කියන්නී, “මේ කාරණය එළි වුවහොත් මහා නින්දාවක් වන්නේ ය. මෙය ප්‍ර‍කට නොවනු පිණිස නුඹේ සහෝදරයා මරන්න” යයි කීවාය. ඒ පුරුෂයා ‘මතු මෙබන්දක් නොකිය ව’ යි තර්ජනය කොට එය ප්‍ර‍තික්ෂේප කෙළේය. කීප දවසකින් පසු නැවතත් ස්ත්‍රිය එසේම කීවා ය. එදා ඒ පුරුෂයා මධ්‍යස්ථ විය. ස්ත්‍රිය නැවත නැවත දිනයකත් එසේ ම කීවා ය. එදා ඒ පුරුෂයා ස්ත්‍රියගේ කීම පිළිගෙන “මිනී මැරීම නම් බරපතල දෙයකි. එයට අවකාශයක් කෙසේ ලබන්නෙම්දැ”යි කීවේය. එකල්හි ස්ත්‍රිය කියන්නී “අසවල් තැන කුඹුක් ගස සමීපයේ නාන තොටක් ඇත්තේ ය. ඔබ ගොස් තියුණු කෙටේරියක් ගෙන ඒ ගස සමීපයේ සැඟවී සිට මා විසින් එතනට පුරුෂයා එවූ කල්හි මරනු මැනව” යි කීවා ය. සොර සැමියා එහි සැඟවී සිටියේ ය. ඒ ස්ත්‍රියගේ ස්වාමියා සවස වැඩ කොට ගෙට ආ කල්හි ආදරයෙන් මෙන් හිස බලන්නට ඔහුට කථා කොට මඳක් හිස බලා “හිස බොහෝ අපවිත්‍ර‍ය සෝදා ගෙන එව” යි කියා සෝදන කල්කයෙන් පිඬක් ද දී කුඹුක් ගස ළඟ තොටුපළට පුරුෂයා පිටත් කළා ය. ඔහු දියට බැස නැමී හිස සෝදන කල්හි සැඟවී හුන් පුරුෂයා ගොස් කෙටේරියෙන් ගසා මැරුවේ ය. ඒ පුරුෂයා මැරී භාර්‍ය්‍යාව කෙරෙහි පැවති ආසාව නිසා ඒ ගෙයි ම ගැරඬියෙක් ව උපන්නේ ය.

ඌ නිතර නිතර ඒ ස්ත්‍රියගේ ඇඟ පිට වැටෙන්නේ ය. එයින් ඒ ස්ත්‍රිය, මූත් අනිකකු නොව ඒ පුරුෂයා ම විය යුතු යයි යලි ගැරඬියා මැරවී ය. භාර්‍ය්‍යාව ගැන පැවති ලෝභය එපමණකින් ද පහ නො වූ බැවින් ගැරඬියා ඒ ගෙයි ම බලුව උපන්නේ ය. බල්ලා ද ඒ ස්ත්‍රිය යන යන තැනට එන්නට පුරුදු විය. එයින් කෝපයට පත් ස්ත්‍රිය බල්ලා ද මැරවී ය. එයින් ද ස්ත්‍රිය කෙරෙහි පැවති ලෝභය නො සිඳුන බැවින් ඌ මැරී ඒ ගෙයි ම ගොන් වස්සෙක් වූයේ ය. ගොන් වස්සා ද ස්ත්‍රිය පසු පස්සේ ම එන්නට පුරුදු විය. එයින් කෝපයට පත් ස්ත්‍රිය ගොන් වස්සා ද මැරවීය. එයින් ද ස්ත්‍රිය කෙරෙහි තුබූ ඇල්ම නොසිඳුනෙන් ඌ ඒ ස්ත්‍රියගේ කුසයෙහි ඇයට ම දරුව උපන්නේ ය. ඔහුට ජාතිස්මරණ ඥානය පහළ වී සතර වාරයකදී ම ඇය විසින් තමා මරවනු ලැබූ බව දැන එතැන් පටන් ඒ ස්ත්‍රියට තමාගේ ශරීරය ස්පර්ශ කරන්නට ද ඉඩ නුදුන්නේ ය. මව ස්පර්ශ කළහොත් ඒ ළමයා මහ හඬින් හඬන්නට වන්නේ ය. එබැවින් මුත්තණුවන් විසින් ම ඒ ළමයා පෝෂ්‍ය කරන ලද්දේ ය. ළමයා වැඩුණ කල්හි මුත්තණුවන් විසින් මවට ළංවන්නට වත් නොදෙන කාරණය විචාරණ ලදුව සියලු ප්‍ර‍වෘත්තිය ළමයා මුත්තාට කීය. එකල්හි මුත්තා සංවේගයට පැමිණ ළමයා වැළඳ හඬා “මෙබඳු අසත්පුරුෂයන් හා වාසයෙන් අපට කිම් දැ”යි ළමයා ද ගෙන එක්තරා විහාරයකට ගොස් දෙදෙනා ම පැවිදි ව මහණදම් පුරා රහත් වූවෝ ය. මේ පුරුෂයාට තමා ඇලුම් කරන කාන්තාව විසින් නැවත නැවත මරනු ලබද්දී ද ඇය කෙරෙහි ආලය දුරු කරන්නට නොහැකි වූයේ ලෝභය දුරු කිරීමට අතිශයින් දුෂ්කර වූ ක්ලේශ ධර්මයක් වන බැවිනි. රහත් වීමට තරම් පින් ඇතිව සිටත් ඔහුට සතර වාරයක් ම පිළිවෙළින් තිරිසන් අපායෙහි උපදින්නට වූයේ ද මේ ලෝභය නිසා ය.

ලෝභය නොයෙක් පව්කම්වලට හේතු වන බව

ලෝභය සත්ත්වයා මරණින් මතු දුර්ගතියට පැමිණ වීමට සමර්ථ වූ පාපයකි. ලෝභය වූ ඒ පාපය ම ලොව ඇති තාක් අන් සියලු ම පව්වලටත් හේතු වන්නේ ය. ඒ එසේ මැ යි. ලෝභය නිසා ඇතැමෙක් සහෝදරයන් සහෝදරියන් නසති. ඇතැමෙක් මව්පියන් නසති. ඇතැමෙක් කෙළෙහි ගුණ අමතක කොට ඉතා ම උපකාරක මිත්‍ර‍යන් නසති. ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන් නසති. මව්පියාදි ගුණවතුන්ට ද්‍රෝහිකම් කරති. චෛත්‍යයන් බිඳිති. බුදුපිළිම විනාශ කරති. රටවලට ලෝභයෙන් ලක්ෂගණන් ජනයා මරති. අපමණ අසරණ සතුන් මරති. ලෝභය නිසා ම ලෝකයෙහි එක් දිනකට මරනු ලබන සතුන් විශාල සංඛ්‍යාවකි. ඒ ලෝභය නිසා දුර්වලයන් අසරණයන් පෙළා ඔවුන්ගේ දේපල පැහැර ගනිති. පරභාර්‍ය්‍යාවන් දූෂණය කරති. සහෝදරියන් දරුවන් දූෂණය කරති. බොරු සාක්කි කියති. මත්පැන් බොති. තවත් නොයෙක් පව්කම් කරති. එසේ කොට ඇතැමෙක් මෙලොව දී මහා විනාශයට පත්වෙති. මරණින් මතු දුර්ගතියට පැමිණෙති. මේ ලෝභය සාමාන්‍ය මනුෂ්‍යයන් තබා පවින් සර්වාකාරයෙන් වැළකී සිටින නුවණැති මහෝත්තමයන් පවා සමහර විටක දී පවට පොළඹවන්නේ ය. ඒ බව “ලෝමස කාශ්‍යප” තාපසයන්ගේ කථාවෙන් ඔප්පු වේ. ඒ මෙසේ ය. –

ලෝමස කාශ්‍යප තාපසයන්ගේ කථාව

ලෝමස කාශ්‍යප තාපසයෝ වනාහි අප මහා බෝසතාණෝ ය. උන්වහන්සේ වනයෙහි තපස්කම් කරන කල්හි ශක්‍රයෝ තමාගේ ශක්‍ර‍ සම්පත ගැනීම පිණිස කරන තපසක් දෝ යි බිය වී බරණැස් රජුට එක්ව බෝසතාණන් තපසින් පිරිහෙවන්නට සිතා දිනක් මධ්‍යම රාත්‍රියෙහි බ්‍ර‍හ්මදත්ත රජ්ජුරුවන් නිදන කාමරයට වැද ගබඩාව ඒකාලෝක කොට රජු පුබුදුවා “මහරජ, ශක්‍රයෝ නම් මම ය. ඉදින් තෙපි මා සේ අජරාමර වන්නට කැමැත්තහු නම් සකල ජම්බුද්වීපයෙහි රාජ්‍යය කැමැත්තහු නම් තොපගේ මිත්‍ර‍වූ ලෝමස කාශ්‍යපයන් ගෙන්වා සතුන් මරා කරවන්නා වූ “වාජපෙය්‍ය” නම් මහායාගය එතුමා ලවා කරවව” යි කියා අතුරුදහන් වූහ.

රජ තෙමේ පසු දින සය්හ නම් වූ ඇමතියා කැඳවා ලෝමස කාශ්‍යප තාපසයන් කැඳවාගෙන එන්නට යැවී ය. ඇමතියා වනචරයකු මාර්ගදේශකයා කොට ගෙන තාපසයන් වසනා තැනට ගොස් “තාපසයන් වහන්ස, නුඹ වහන්සේ පැමිණ වාජපෙය්‍ය මහා යාගය කළහොත් අප රජ්ජුරුවන්ට මුළු දඹදිව රාජ්‍ය ලැබෙන්නේ ය. ලැබූ කල්හි ඉන් කැමති පමණක් නුඹ වහන්සේටත් දෙන්නේ ය. යාගය කරන්නට එනු මැනව”යි කීය. එකල්හි බෝසතාණන් වහන්සේ කියන්නාහු “සය්හය, ප්‍රාණඝාතය කෙළේය යන නින්දාව සමග ලැබෙන්නා වූ සමුද්‍ර‍ය සීමා කොට ඇති මුළු පොළොව ද ගැනීමට නො කැමැත්තෙමි. අධර්මයෙන් ලැබෙන ධන ලාභයට ද යස ලාභයට ද මම නින්දා කරමි. පැවිදි තැනැත්තාගේ මැටි පාත්‍ර‍යක් ගෙන ගෙදොරක් පාසා ආහාර සිඟා කරන ජීවිකාව, ඒ අධර්ම ජීවිකාවට වඩා ශ්‍රේෂ්ඨ ය. පැවිදිව පාත්‍ර‍ය ගෙන කිසිවකු නො පෙළා හැසිරීම මුළු දඹදිව රජයට වඩා උතුම් වන්නේ ය”යි කීහ. ඇමතියා රජතුමාට එපවත් දැන්වී ය. රජතුමා ද “තාපසයන් නො එත හොත් කුමක් කරමෝ දැ”යි තූෂ්ණිම්භූත විය.

ශක්‍ර‍යා පසු දිනක ද මධ්‍යම රාත්‍රියෙහි රජු කරා අවුත් රජුට කියනුයේ “මහරජ, චන්ද්‍ර‍වතී කුමාරිය සරසා ඉදින් යාගය කරතහොත් “මේ කුමාරිය දෙමි”යි කියා “තාපසයන් වෙත යව ව, තාපසයෝ කුමරිය කෙරෙහි ලෝබ කොට ඒකාන්තයෙන් එන්නාහ”යි කීය. රජතුමා එසේ කෙළේය. කුමරිය දුටු කල්හි තාපසයන්ට ලෝභය උපන. එයින් ම ධ්‍යානයෙන් ද පිරිහුණේ ය. තාපසයන් කෙරෙහි ලෝභය උපන් බව තේරුම් ගත් ඇමතියා “යාගය කරත හොත් මේ කුමාරිකාව රජතුමා ඔබට දෙන්නේ ය”යි කීය. තාපසයෝ “එසේ නම් යාගය කරමි”යි රථයට නැගී බරණැස් නුවරට ගියෝ ය.

රජතුමා ද තාපසයන් එන බව අසා යාගය සූදානම් කරවූයේ ය. තාපසයන් පැමිණි කල්හි “යාගාවසානයේ දී කුමරිය දෙමි”යි කියා යාගය කරන්නට කීය. රජතුමා දෙවන දවස්හි තාපසයන් හා චන්ද්‍ර‍වතිය ද යාගය කරන තැනට ගියේ ය. යාගයට මරන්නට උවමනා කරන ඇත් අස් ගව මහිසාදි සත්තු එහි පිළිවෙලින් කනුවලට බැඳ තබන ලදහ. තාපසයෝ සතුන් බලා ගැණ යාගය කරන්නට සැරසුණෝ ය. එකල්හි මහජනයා රාගයෙන් මත් වී සිටින තාපසයන් විසින් කරන්නට යන ඒ පාප ක්‍රියාව බලා “කාශ්‍යපයෙනි, කාශ්‍යපයෙනි, ඔබට මෙය නුසුදුසු ය. ඔබ කුමට මෙබඳු නීච ධර්මයක් කරන්නට යන්නහුදැ”යි කීය.

“බලං චන්දො බලං සුරියෝ - බලං සමණ බ්‍රාහ්මණා

බලං වෙලා සමුද්දස්ස - බාලාති බල මිත්ථියෝ

යතා උග්ගතපං සන්තං - ඉසිං ලෝමසකස්සපං

පිතු අත්ථා චන්දවතී - වාජපෙයං අයාජයී.”

යනුවෙන් ඝෝෂා කරන්නට වූහ.

“අන්ධකාර විධමනයෙහි චන්ද්‍ර‍යා බලවත්ය, සූර්‍ය්‍යයා ද බලවත් ය. ක්ෂාන්ති බල ඥාන බලාදියෙන් යුක්ත බැවින් ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෝ ද බල ඇත්තෝ ය. සාගර ජලය නවතා ගෙන සිටින බැවින් සාගරයාගේ වෙරළ ද බලවත් ය. බලවත් වූ ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන් පවා වසඟයට ගෙන විනාශ කරන බැවින් ස්ත්‍රීහු මේ සැමට ම බලවත්ය හ. යම් හෙයකින් උග්‍ර‍ තපස් ඇත්තා වූ ශාන්ත වූ ලෝමසකාශ්‍යපයන් ලබා චන්ද්‍ර‍තිය පියාට වැඩ පිණිස “වාජපෙය්‍ය” යාගය කරවී ද, එහෙයිනි” යනු එහි තේරුම යි.

මෙසේ ජනයා ඝෝෂා කරද්දී තාපසයන් පළමු කොට මගුලැතු මරනු පිණිස කඩුව එසවීය. ඇතු බිය පත්ව මහ හඬින් හැඬීය. ඒ ශබ්දය අසා බැඳ සිටි සියලු සත්ත්වයෝ ද බියපත්ව හැඬූහ. මහ ජනයා ද හඬ නැඟූහ. ඒ හඬින් තාපසයෝ ද තැතිගෙන තමා දෙස බැලූහ. තමාගේ තවුස් වේසය එතුමාට පෙණුනේ එවිටය. තාපසයෝ ලෝභයට වසඟ ව තමා කරන්නට ගිය අනුවණ කම ගැන සංවේගයටත් ලජ්ජාවටත් පැමිණ රජහට “චන්ද්‍ර‍වතියත් රටත් ඔබට ම වේවා! මට මේවායින් කම් නැතැ”යි කියා නැති වූ ධ්‍යානය එවේලේ ම උපදවා ගෙන අහසින් ම හිමතට ගොස් දිවි හිමියෙන් තපස්කම් කොට මරණින් මතු බ්‍ර‍හ්මලෝක පරායණ වූහ.

මේ ලෝභය පව් පිළිකුල් කරන්නා වූ පවට බිය වූ පවින් වැළකීමට ම වීර්‍ය්‍ය කරන්නා වූ පස්කම් සැප හැර වනයට වැද තපස්කම් කරමින් සිටියා වූ මහබෝසත් ලෝමසකාශ්‍යපයන්ගේ සිත පවා පවට යොමු කිරීමට එතුමන් පවට යැවීමට සමර්ථ වූ කල්හි පස්කම් සැපතෙහි ඇලී ගැලී සිටින, සාමාන්‍ය පුද්ගලයන්ගේ සිත් නොයෙක් පව්කම්වලට යොමු කිරීමට ඔවුන් ලවා පව් කරවීමට සමර්ථ වන බව කියනුම කිම?

ලෝභයෙන් සඟමොක් මඟ වැසීම

සගමොක් මඟ නම් දානාදි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෝ ය. සත්ත්වයාගේ සිත හැකි තාක් ධනය රැස් කිරීමටත් අවකාශ ඇතහොත් අනුන් අයත් ධනය පැහැර ගැනීමටත් යොමු කරවන්නා වූ ධන ලෝභය වනාහි දානමය කුශලයට ඉඳුරා ම විරුද්ධ වූවකි. සිල් රැකීමටත් භාවනාවටත් කල් යැවීම, වස්තු සැපයීමට හා තිබෙන වස්තු රැකීමටත් බාධක බැවින් ශීල භාවනා දෙකට ද විරුද්ධය. එබැවින් ඒ ධන ලෝභය විශේෂයෙන්ම දානය කෙරෙන් සත්ත්වයාගේ සිත හැකිලවීමෙන් ද අදානයෙහි යෙදවීමෙන් ද දානමය කුශලය වූ සගමොක් මඟ ද, සිල් රැකීමට භාවනා කිරීමට අවකාශ නො කිරීම් වශයෙන් ශීල භාවනා සඞ්ඛ්‍යාත ස්වර්ග මෝක්ෂ මාර්ගය ද වසන්නේ ය.

මේ ලෝභය සගමොක් සැප කැමැත්තෙන් බොහෝ පින් කළා වූ තැනැත්තාට ද ඒ පින්වල බලයෙන් මෙලොවින් අන් තැනකට යන්නට නොදී ඔහුගේ සිත ඔහුගේ වස්තූන් කෙරෙහි අලවා බැඳ තැබීමෙන් සගමොක් මඟ වසන්නේ ය. කළ පින් ඇත්තා වූ ද බොහෝ මනුෂ්‍යයෝ ඒ හේතුවෙන් මරණින් මතු ස්වර්ගයට යා නොහී ස්වකීය වස්තූන් ඇති තැන්වල ම තිරිසන් ව හෝ ප්‍රේතව හෝ ඉපිද දුක් විඳිති. තව ද මේ ලෝභය සත්ත්වයා ලවා නොයෙක් පව් කරවීමෙන් ද සගමොක් මඟ වසන්නේ ය.

ලෝභයෙන් සත්ත්වයා අපායට පැමිණවීම.

ලෝභය සත්ත්වයා ලවා අනේක පාපයන් කරවා මරණින් මතු ඒ සත්ත්වයා නරකාදි සතර අපායට පමුණුවන්නේ ය. දස අකුශල කර්ම පථයෙන් එකකුදු නො වන්නා වූ තමාගේ වස්තුව කෙරෙහි ද, අඹුදරුවන් කෙරෙහි ද පවත්නා ආලය වූ ලෝභය ද, සත්ත්වයා තිරිසන් අපායටත් ප්‍රේත අපායටත් පමුණුවන්නේ ය. හුදෙකලා වූ ලෝභය නිසා ම තිරිසන් බවට ප්‍රේත බවට පැමිණෙන්නා වූ සත්ත්වයෝ බොහෝ ය.

පෙර සතළිස් කෝටියක් ධනයට හිමිව සිටි එක් සිටුවරයෙක් ඒ ධනයට ආශාවෙන් කාලක්‍රියා කොට ධන නිධාන සමීපයේ මීයෙක් වූයේ ය.

පෙර සැවැත් නුවර විසූ තිස්ස නම් වූ භික්ෂුවක් අලුත ලැබුණු සිවුරකට ආසාවෙන් සිටියදී කලුරිය කොට ඒ සිවුරෙහි ම හිනිකුණු ව උපන්නේ ය. දෙව්ලොව ඉපදීමටත් පින් ඇත්තා වූ ද ඒ භික්ෂුව ලාමක වූ ලෝභය හිනිකුණකු කෙළේ ය. හිනිකුණු ව සිවුරෙහි සත් දිනක් සිට කලුරිය කොට පසු ව මහණදම් පිරීමේ කුශලයෙන් තුෂිත දිව්‍යලෝකයෙහි උපන්නේ ය.

පෙර එක් ගොවියෙක් ඔහුගේ කෙතට ලෝභයෙන් සිට මැරී ඒ සමීපයෙහි ඌරුව උපන්නේ ය. ඔහුගේ භාර්‍ය්‍යාව ද භාජනවලට ලෝභයෙන් සිට මැරී ගැරඬි දෙනක් වූවාය. ඔවුන්ගේ දුවක් ද ඇය ජල ක්‍රීඩා කළ පොකුණට ලෝභයෙන් සිට මැරී එහි මැඩි දෙනක් වූවාය. මෙකල ද මෙසේ ඒ ඒ දෙයට ලෝභ කොට තිරිසන් ව උපදින්නන් බොහෝ විය හැකි වුවත් ඔවුන් ගැන දැන ගන්නට ක්‍ර‍මයක් නොමැති බැවින් ඒ බව මනුෂ්‍යයෝ නොදනිති. ලෝභයෙන් මියගොස් ඒ ඒ තැන්වල ප්‍රේත ව උපන්නන් බිය ගැන්වීම් රෝග කිරීම් ආදියෙන් මිනිසුන්ට කරදර කරන බැවින් සමහර විට ඔවුන් ගැන පමණක් අසන්නට ලැබේ. මරණින් මතු මෙසේ දුගතියට නොපැමිණෙනු කැමැත්තෝ මේ ලෝභය සිය සිත්වලින් දුරු කොට සිත ශුද්ධ කරත්වා!

භවාග්‍ර‍ට පැමිණියා වූ ද සත්ත්වයා නැවත අපායට ගෙනයන බව.

“යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ

ජින්නෝපි රුක්ඛෝ පුනරෙව රූහති.

එවම්පි තණ්හානුසයෙ අනූහතෙ

නිබ්බත්තති දුක්ඛමිදං පුන්පුනං”

“යම් සේ ගසෙහි මුල අනුපද්‍රැතව දැඩි ව පවත්නා කල්හි අගින් කපන ලද්දා වූ ද ගස නැවත ලියලන්නේ ද, එපරිද්දෙන් සත්ත්වයාගේ චිත්ත සන්තාන ගත වූ තණ්හානුසය ලෝකෝත්තර මාර්ගඥානය නමැති පොරොවෙන් සුන් නොකළ කල්හි ජාති ජරා මරණාදි මේ දුඃඛය නැවත නැවත උපදින්නේ ය.” යනු මෙහි තේරුම යි.

මෙයින් සසර දුක් ගෙවා නිවනට නොපැමිණිය හැකි ව ජාති ජරා මරණාදි දුඃඛයන්ගෙන් ද පෙළෙමින් මේ සංසාරයෙහි ම නැවත නැවත උපදිමින් හැසිරෙන්නට වී තිබෙන්නේ ඔවුන් තුළ පවත්නා ලෝභය නිසා බව ප්‍ර‍කාශිත ය. මාර්ගඥානයෙන් ලෝභය නො නැසුවා වූ පෘථග්ජන පුද්ගලයා භවාග්‍ර‍යට පැමිණ සිටිනුයේ ද අපායෝත්පත්තියට හේතු වන ලෝභය නමැති විෂබීජය චිත්තසන්තානයෙහි ඇතිව ම ය. එබැවින් ඔහු මතු ලබන්නට තිබෙන අපාය දුඃඛයෙන් නො මිදී ම එහි වාසය කරන්නෙකි. ඔහු භවාග්‍රයෙහි ලබා සිටින ඒ ආයුෂය ගෙවා එයින් පහවූ කල්හි සන්තානගත වූ ලෝභ නැමැති විෂබීජයෙන් නැවත අපායට පමුණුවන්නේ ය. භවාග්‍රයෙහි සිටින්නා වූ සත්ත්වයා ඒ අරූප භවයෙන් චුත ව දෙවන ආත්මයේ ම නම් අපායට නොපැමිණේ. එයින් චුත ව කාමසුගතියෙහි ඉපද ඉන්පසු අපායට පැමිණේ. එබැවින් ලෝභය භවාග්‍ර‍යට ගියා වූ ද සත්ත්වයා නැවත අපායට පමුණුවන්නේ ය යි කියන ලදි. ලෝභය නොනැසුවා වූ සත්ත්වයන් ඒ හේතුවෙන් සසර උසස් පහත් නොයෙක් ජාති වල ඉපදෙන බවට සාධක වශයෙන් සූකර ජෝතිකාවගේ කථාව දක්වති. ඒ මෙසේ ය. –

සූකර ජෝතිකාවගේ කථාව

එක් සමයෙක්හි බුදුරජාණන් වහන්සේ රජගහ නුවර පිඬුසිඟා වඩනා සේක්, එක් ගම් ඊරියක දැක සිනා පහළ කළ සේක. එකල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේගෙන් සිනා පහළ කිරීමට කාරණය විචාළෝ ය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් “ආනන්දුය, අර ඊරිය දක්නෙහි ද? ආනන්දය ඕ තොමෝ කකුසඳ බුදුන් කල එක් ආසන ශාලාවක් සමීපයේ කිකිළියක් ව විසුවා ය. එකල්හි ඕ විදර්ශනා කර්මස්ථානය සජ්ඣායනා කරන්නා වූ එක් යෝගාවචර භික්ෂුවකගේ ඒ ධර්ම සජ්ඣායනාව අසා සිත පහදා ඉන් චුත ව රාජකුලයෙහි ඉපිද උබ්බරි නම් කුමාරිකාවක් වූවා ය. ඕතොමෝ දිනක් වැසිකිළියක පණු සමූහයක් දැක පුලවක සඤ්ඤාව වඩා ප්‍ර‍ථමධ්‍යානය උපදවා එයින් චුත ව බ්‍ර‍හ්මලෝකයෙහි උපන්නාය. එයින් චුතව භවයෙන් භවයට යන්නේ ඌරු ජාතියෙහි උපන්නාය. මේ කාරණය දැක සිනා පහළ කෙළෙමි”යි වදාළ සේක. ඒ අසා ආන්නද ස්ථවිර ප්‍ර‍මුඛ භික්ෂුන් වහන්සේ මහා සංවේගයට පැමිණියාහු ය. එකල්හි තථාගතයන් වහන්සේ එතැන්හි ම සිට ඒ කාරණය නිමිතිකොට ධර්මදේශනාවක් ද කළ සේක. දේශනාවසානයෙහි බොහෝ දෙන සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණියාහු ය.

සූකරපෝතිකාව ද එයින් චුතව ස්වර්ණභූමියෙහි රජ පවුලක උපන්නී ය. එයින් චුත ව බරණැස් නුවර උපන්නා ය. එයින් චුත ව සුප්පාරක පටුනෙහි අස් වෙළෙඳකුගේ ගෙයි උපන්නා ය. එයින් චුතව කාවරිපටුනෙහි වෙළඳ ගෙයක උපන්නා ය. එයින් චුත ව අනුරාධපුරයෙහි පොහොසත් ගෙයක උපන්නා ය. එයින් චුත ව අනුරාධපුරයෙහි දකුණෙහි පිහිටි හෝකන්ත නම් ගමෙහි ගෙයක උපන්නා ය. එකල්හි ඈ සුමනා නම් වූවා ය. එගම මිනිසුන් විසින් හළ කල්හි ඒ පවුල දීඝවාපි රටට ගොස් මහාමුනි නම් ගමෙහි විසූ හ. යම්කිසි කටයුත්තක් සඳහා ඒ ගමට පැමිණියා වූ ලකුණ්ටක අතිම්බර නම් වූ දුටුගැමුණු රජතුමාගේ ඇමතියකු විසින් ඇය දැක මහත් වූ මංගලයෙන් මහා පුණ්ණි නම් ගමට ගෙන යන ලද්දීය.

එහිදී කෝටිපබ්බත මහා විහාරයෙහි විසූ මහා අනුල තෙරුන් වහන්සේ පිඬු සිඟා වඩනාසේක් ඇය දැක “ඇවැත්නි, සූකර පෝතිකාව ලකුණ්ටක අතිම්බර මහා ඇමතියාගේ භාර්‍ය්‍යාව බවට පැමිණියා”යි වදාළ සේක. ඕ තොමෝ ඒ කතාව අසා අතීතභවයන් ගැන සිතන්නී ජාතිස්මරණ ඥානය ලබා තමාගේ අතීත ජාති පිළිවෙල සිහිකොට සසර කළකිරී ඇමතියාගේ අවසර ගෙන පැවිදිව තිස්සමහා විහාරයෙහිදී සතිපට්ඨාන සූත ධර්මය අසා සෝවාන් වූවාය. පසු කාලයෙහි දුටුගැමුණු රජතුමා විසින් දෙමළුන් පරාජය කළ කල්හි ඕ තොමෝ මව්පියන්ගේ වාසස්ථානය වූ හෝකන්ත ගමට ගොස් වසන්නී එක් කල්ලක නම් වූ මහා විහාරයෙහි දී ආසිවිසෝපම සූත්‍ර‍ ධර්මය අසා රහත් වූවා ය. ඉක්බිති පිරිනිවන් පානා දිනයෙහි භික්ෂුණීන් හමුවෙහි තමාගේ අතීත චරිතය පවසා අවවාද කොට පිරිනිවන් පෑවාය. මාර්ගඥානයෙන් ලෝභය වැනසූ තැනැත්තා නැවත නූපදනා බැවින් මෙබඳු විපර්‍ය්‍යාසයන්ට නොපැමිණෙන්නේ ය. පෘථග්ජන සියල්ලෝ ම මේ ලෝභය නිසා සූකර පෝතිකාව මෙන් ම නොයෙක් ජාති වලට පැමිණෙමින් වසන්නෝ ය. එය මහත් වූ දුකකි. එබැවින් සැබෑ සැපතට පැමිණෙනු කැමැත්තෝ භවයෙන් භවයට සත්ත්වයන් ගෙන යන්නා වූ මේ ලෝභය, මාර්ග ඥානය වඩා සහමුලින් නසත්වා!

ලෝභයේ ප්‍රභේද

ප්‍රභේද දක්වන තැන්වලදී ලෝභය තණ්හා නාමයෙන් ම දක්වන ලද බැවින් මෙහි ද එසේ ම දක්වනු ලැබේ. රූප තෘෂ්ණාවය, ශබ්ද තෘෂ්ණාවය, ගන්ධ තෘෂ්ණාවය, රස තෘෂ්ණාවය, ස්ප්‍ර‍ස්ටව්‍යතෘෂ්ණාවය, ධර්ම තෘෂ්ණාවය යි තෘෂ්ණාව සවැදෑරුම් වේ. රූපයන්හි ලෝභය රූප තෘෂ්ණා නමි. ශබ්දයන්හි ලෝභය ශබ්ද තෘෂ්ණා නමි. ගන්ධයන්හි ලෝභය ගන්ධ තෘෂ්ණා නමි. රසයන්හි ලෝභය රස තෘෂ්ණා නමි. ස්ප්‍ර‍ස්ටව්‍යයන්හි ලෝභය ස්ප්‍ර‍ෂ්ටව්‍ය තෘෂ්ණා නමි. ජීවිතාදි අවශේෂ ධර්මයන්හි ලෝභය ධර්ම තෘෂ්ණා නමි. මෙයින් එක් එක් තෘෂ්ණාවක් පවත්නා ආකාරයන්ගේ වශයෙන් කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යි තෙවැදෑරුම් වේ. එයින් රූපාදීන්ගේ ප්‍රිය ස්වභාවය මාත්‍ර‍ය ඇසුරු කොට උපදනා තෘෂ්ණාව කාම තෘෂ්ණා නමි. ෂඩාරම්මණය සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් ගැනීමත් සමග උපදනා තෘෂ්ණාව භව තෘෂ්ණා නමි. ෂඩාරම්මණයෙහි අනාගත භවාපේක්ෂාවෙන් තොරව උපදනා ලෝභය විභව තෘෂ්ණා නමි. තවත් ක්‍ර‍මයකින් කියතහොත් දෘෂ්ටිවිප්‍ර‍යුක්ත ලෝභය කාම තෘෂ්ණා නමි. ශාස්වත දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත ලෝභය භව තෘෂ්ණා නමි. උච්ඡේද දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත තෘෂ්ණාව විභව තෘෂ්ණා නමි. යටකී සයක් වූ තෘෂ්ණාව මේ කාම තෘෂ්නාදි ගුණෙන් ගුණ කළ කල්හි අටළොසක් වේ. ඒ අටළොසක් වූ තෘෂ්ණාවන්ගෙන් එක එකක් ම අතීත වූ ද අනාගත වූ ද වර්තමාන වූ ද රූපාදීන් විෂයෙහි පවත්නා බැවින් තුන් වැදෑරුම් වේ. අටළොස තුනෙන් ගුණ කළ කල්හි සිවු පනසක් වේ. එයින් එක එකක් ම ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද රූපාදීන් විෂයෙහි පවත්නා බැවින් ඒ සිව්පනස ආධ්‍යාත්මික බහිද්ධා භේදයෙන් එකසිය අටක් වේ.

2. ව්‍යාපාදො චිත්තස්ස උපක්කිලේසෝ.

මේ සත්ත්වයෝ සෑම කල්හි ම තමාගේ සතුරන් හා කලහයට නො එළඹෙති. ඔවුන් විනාශ කිරීමට ඔවුනට පීඩා කිරීමට තැත් නො කරති. විනාශයට හේතු වන රෝගාදී අන්තරායකට සතුරා මුහුණ පා සිටිනු දුටු කල්හි ද ඇසූ කල්හි ද මෙයින්වත් මොහු නැසේවා යි සිතති. දැන් නැසේදෝ දැන් නැසේදෝ යි සතුරාගේ විනාශය බලාපොරොත්තු වෙති. එය දක්නට කැමැත්තෙන් සිටිති. එසේ සිටින්නවුන් තුළ හට ගන්නා වූ අන්හු නැසෙත්වා යන සිත හා සමග පවත්නා වූ ද්වේෂ චෛතසිකය ව්‍යාපාද නමි. එය දස අකුසල කර්මපථ වලින් ද එකකි. මෙය බොහෝ සෙයින් තම හට වඩා බලවත් වූ සතුරන් සම්බන්ධයෙන් උපදී. දුබල වූ ද සම වූ ද බලවත් වූ ද මඳ වශයෙන් විරුද්ධත්වය ඇත්තා වූ සතුරන් ගැන ද උපදී. මෙය ද්වේෂයේ ම එක් අවස්ථාවකි. යම්කිසි කරුණක් නිසා අනිකකු කෙරෙහි පළමු ම හට ගන්නා නො සතුට ද්වේෂය යි. එය ක්‍ර‍මයෙන් මෝරන්නට පටන් ගනී. එසේ නැවත නැවත මෝරා හටගන්නා වූ ද්වේෂය සතුරා නසීවා යි සිතන තැනට පැමිණේ. එකල්හි එය ව්‍යාපාද යයි කියනු ලැබේ.

මේ ව්‍යාපාදය, මොහු මට පෙර වරද කෙළේ ය කියා ද, මොහු දැන් මට වරද කරමින් සිටින්නේ ය කියා ද, මොහු මෙසේ සිටියහොත් මෙසේ දියුණු වුවහොත් අනාගතයෙහි මට වරද කරන්නේ ය කියා ද තමා සම්බන්ධයෙන් තුන් ආකාරයකින් හටගන්නේ ය.

මොහු මාගේ මව්පිය අඹුදරු ආදීනට අතීතයෙහි වරද කෙළේ ය කියා ද, දැන් වරද කරමින් සිටින්නේ ය කියා ද, අනාගතයෙහි වරද කරන්නේ ය කියා ද තමාගේ ප්‍රිය පුද්ගලයන් සම්බන්ධයෙන් තුන් ආකාරයකින් හටගනී.

මොහු පෙර මාගේ සතුරනට අනුබල දුන්නේ ය කියා ද, දැන් මාගේ සතුරනට අනුබල දෙමින් සිටින්නේ කියා ද, අනාගතයෙහි මාගේ සතුරනට එක් වන්නේ ය අනුබල දෙන්නේ ය කියා ද, සතුරන් සම්බන්ධයෙන් තුන් ආකාරයකින් හටගනී. මේ කරුණු නවයට නවාඝාත වස්තුව ය යි ද කියනු ලැබේ.

මෙය සිත්හි හටගත් කල්හි ඒ සිතට බබලන්නට නො දෙන බැවින් සිත කිලිටි කරන බැවින් මෙයට චිත්තෝපක්ලේශය කැ යි කියනු ලැබේ. මෙය මරණින් මතු අපායට පමුණුවන්නා වූ පාපයක් බැවින් ස්වසන්තානයෙහි හටගන්නා නො දී සිත ආරක්ෂා කර ගනිත්වා!

3. කෝධෝ චිත්තස්ස උපක්කිලේසෝ

සිත්හි හටගන්නා වූ දණ්ඩෙන් තළනු ලැබූ සර්පයකු සේ අන්‍යයන්ට විරුද්ධ වූ නැගී සිටින ස්වභාවය ක්‍රෝධ නම් වේ. මෙය ගින්නක් සේ රෞද්‍ර‍ වූ ද සන්තානය දවන්නා වූ ද පෙළන්නා වූ ද ධර්මයකි. එහි ඇති දවන තවන ස්වභාවය ක්‍රෝධයෙන් මඩනා ලද සිත් ඇති පුද්ගලයා දෙස බැලීමෙන් ම දත හැකි ය. සිත්හි ක්‍රෝධය හටගත් කල්හි එයින් පළමු කොට සිත තවයි. ඉක්බිති ශරීරය දවන්නට තවන්නට පටන් ගනී. එයින් ඒ පුද්ගලයාගේ මුහුණෙහි පැවති සෞම්‍ය ස්වභාවය හා ප්‍ර‍කෘති පැහැය ද අතුරුදහන් වෙයි. කාලවර්ණයෙන් හෝ රක්තවර්ණයෙන් යුක්ත වූ රෞද්‍ර‍ ස්වභාවයක් පහළ වෙයි. හෘදය වස්තුව විශේෂයෙන් සැලෙන්නට වේ. හෘදය වස්තුව සැලෙත්ම මුළු ශරීරයමත් සැලෙන්නට වේ. ශරීරයෙන් ඩහදිය ගලන්නට වෙයි.

මෙය ව්‍යාපාදයාගේ උත්පත්ති හේතු වශයෙන් කී නවාඝාත වස්තූන් නිසා උපදනේ ය. අසත්පුරුෂයන්ට හා මෝඩයන්ට අස්ථානයෙහි ද ක්‍රෝධය හටගන්නේ ය. අසත්පුරුෂයන් අකාරණයෙහි කිපෙන සැටිත් ඔවුන් එයින් ම විනාශ වන සැටිත් මතු දක්වන කථාවෙන් දතයුතු.

දුෂ්ට කුමාරයාගේ කථාව

පෙර බරණැස්නුවර කිතවාස නම් රජෙක් විය. ඔහුට පුත්‍ර‍යකු උපන් කල්හි මේ කුමාරයා පැන් නො ලැබ නැසෙන්නේ යයි ලක්ෂණ පාඨක බ්‍රාහ්මණයෝ කීහ. ඒ කුමාරයා අතිශයින් දුෂ්ටය. එබැවින් ඔහුගේ නම ද දුෂ්ට කුමාරයා ම විය. වැඩිවිය පැමිණි කල්හි කිතවාස රජ තෙමේ ඒ කුමාරයාට යුව රජ තනතුර දින. පැන් නො ලබා කුමාරයා මැරේය යන බියෙන් රජතුමා නගරද්වාර සතරෙහි ද නගරයෙහි තැන් තැන්වල ද මහ පොකුණු කැණවීය. මංසන්දිවල පැනසැල් පිහිට වීය. දිනක් දුෂ්ට කුමාරයෝ අත්‍යාලංකාරයෙන් සැරසී ඇතු පිට නැගී ජනයා පිරිවරා උයනට යනුයේ මඟ පසේ බුදුකෙනකුන් දුටුවේ ය. ඔහු හා ගිය ජනයෝ පසේ බුදුනට වැන්දෝය. ඒ දැක කුමාරයා “මා හා යන්නාවූ ජනයෝ මා සිටියදී මා ඉදිරියේ ම මේ මුණ්ඩකයාහට වඳින්නාහ. ප්‍ර‍ශංසා කරන්නාහ” යි තමනට කිසිම වරදක් නො කළාවූ පසේ බුදුනට කිපී ඇතුපිටින් බැස පසේ බුදුන් කරා ගොස්, “මහණ තට බත් ලැබුණේදැ”යි අසා “එසේය, කුමාරයෙනි” යි කී කල්හි උන්වහන්සේ ගේ පාත්‍ර‍ය ගෙන බිම ගසා පාගා සුණු විසුණු කෙළේ ය. පසේ බුදුන්වහන්සේ “අහෝ! මේ අඥයා නැසුණේ නොවේදැ”යි අනුකම්පා සහගත සිතින් ඔහුගේ මුහුණ බැලූ සේක. “ශ්‍ර‍මණය, මම කිතවාස රජුගේ පුත්‍ර‍ වූ දුෂ්ට කුමාර වෙමි. නුඹ මා දෙස බලා මට කුමක් කරන්නෙහිදැ”යි කීය. පසේ බුදුන් වහන්සේ සුන්බත් ඇත්තෝ අහසින් ම හිමාලය වනයට වැඩි සේක. දුෂ්ට කුමාරයාට පසේ බුදුනට කළ අපරාධය එකෙණෙහි ම විපාක දෙන්නට විය. ඔහුගේ ශරීරය ගින්නට ලූ කලෙක මෙන් දැවෙන්නට විය. ඔහු “දන්නේය, දන්නේ ය”යි කෑ ගසමින් එතැනම ඇද වැටිණ. ඒ සමීපයෙහි තිබූ පැන්සැළි ද වියළී ගියේ ය. ඔහුට පෙවීමට පැන් බිඳකුදු සොයා ගත නො හැකි විය. ඔහු එතැන ම මිය අවීචි මහා නරකයෙහි උපන්නේ ය. දුෂ්ට කුමාරයා තමා කෙරෙහි හටගත්තා වූ ක්‍රෝධය නිසා පසේ බුදුනට ද අපරාධ කොට තමා ද නැසුණේ ය.

මෝඩයෝ අස්ථානයෙහි කිපෙන්නාහු තමහට අව්ව නුවමනා කල්හි අව්වට ද, වැසි නුවමනා කල්හි වැස්සට ද, සුළඟ නුවමනා කල්හි සුළඟට ද, ගල්මුල්වල පය සැපුණු කල්හි ගල්මුල් වලට ද කිපෙති.

කවර අයුරකින් වුවද හට ගන්නා වූ ක්‍රෝධය පළමු කොට ස්වල්ප වශයෙන් හටගෙන පසු ව ක්‍ර‍මයෙන් වැඩෙන්නේ ය. පළමු හටගන්නා වූ ක්‍රෝධය සිත රෞද්‍ර‍ බවට පමුණුවයි. එය නො සන්සිඳුණේ නම් තවත් වැඩී පරුෂ වචන කියවන තැනට පැමිණේ. ඒ අවස්ථාවෙහි නො සන්සිඳුනහොත් පරහට අත් පා වලින් පහර දෙන අවස්ථාවට ද අන්සතු වස්තුව විනාශ කරන අවස්ථාවට ද පැමිණේ. ඒ අවස්ථාවෙහි නො සන්සිඳුනහොත් පිහියා කඩු තුවක්කු ආදී මාරක ආයුධ පාවිච්චි කරන තැනට පැමිණේ. එයින් ද නොසන්සිඳුනහොත් සිය ජීවිතය නසා ගන්නා අවස්ථාවට පැමිණ සිය ජීවිතය ද නසා ගනී. එබැවින් මහ බෝසත් කෘෂ්ණ තාපසයෝ සක්දෙව් රජුට ධර්ම දේශනා කරන්නාහු.

“අප්පෝ හුත්වා බහු හෝති

වඩ්ඪතේ සෝ අඛන්තිජෝ,

ආසඞ්ගි බහු පායාසෝ

තස්මා කොධං නරොචයේ”

යනු වදාළෝ ය.

“නො ඉවසීමෙන් හටගන්නා වූ ක්‍රෝධය පළමු කුඩා වී පසුව මහත් වන්නේ ය. විරුද්ධකාරයා කෙරෙහි නැවත නැවත එල්ලෙන ස්වභාව ඇත්තේ ය. බොහෝ දුක් ඇත්තේ ය. එබැවින් ඒ ක්‍රෝධය මට රුචි නො වන්නේ ය” යනු එහි අදහසයි.

මෙසේ ඉපද වැඩෙන්නා වූ ක්‍රෝධය සැම අවස්ථාවේදී ම සත්ත්වයාගේ සිත කිලිටි කරන්නේ ය. සිතට බබලන්නට නො දෙන්නේ ය. එහෙයින්,

“අනත්ථජනනෝ දෝසෝ - දෝසෝ චිත්තපකෝපනෝ

භයමන්තරතෝ ජාතං - තං ජනෝ නාවබුජ්ඣති

-

දුට්ඨෝ අත්ථං න ජානාති - දුට්ඨො ධම්මං න පස්සති

අන්ධන්තමං තදා හොති - යං දොසො සහතෙ නරං.”

යනු වදාරන ලදි.

ද්වේෂය තමාට හා අනුන්ට නොයෙක් අනර්ථ උපදවන්නේ ය. ද්වේෂය සත්ත්වයාගේ සිත බොර කරන්නේය. එය සත්ත්වයා තුළ ම හට ගන්නා වූ භයෙක. ඒ බව අඥජනයන්ට නො දැනෙන්නේ ය. කිපුණු තැනැත්තා හට ආත්මාර්ථ පරාර්ථ දෙක නො දැනෙන්නේ ය. කිපුණු තැනැත්තා හට දශකුශල කර්ම පථ සංඛ්‍යාත ධර්මය නො පෙනෙන්නේ ය. යම් කලෙක සත්ත්වයාගේ සිත ද්වේෂයෙන් පෙළනු ලබන්නේ ද එකල්හි ඕහට මහඳුරක් වන්නේය.” යනු එහි අදහසයි.

ක්‍රෝධයෙන් සිත කිලිටි වූ කල්හි අඳුරු වූ කල්හි සත්ත්වයාහට තමා කරන්නට යන දෙයින් තමාටත් අනුන්ටත් වන්නා වූ හානිය නො පෙනෙන්නේ ය. අනුන්ට පීඩා කිරීම අනුන් නැසීම නමැති අනර්ථකර දෙය ඔහුට ඒ අවස්ථාවට කළ යුතුම දෙයක් සැටියට පෙනෙන්නේ ය. නොකර හැරීම ම නපුරක් සේ පෙනෙන්නේ ය. එබැවින් කිපුණාහු ක්‍රෝධය කරණකොට ගෙන අනුන් අයත් වූ ද තමා අයත් වූ ද මැටි බඳුන් ඇඳ පුටු ආදී ගෘහ භාණ්ඩ විනාශ කරති. ඇඳුම් පැළඳුම් විනාශ කරති. කෙත්වතු පාලු කරති. ගෙවල් ගිනි ලති. අනුන්ට ආක්‍රෝශ කරති ගසති. අනුන් මරති. සමහර විට ඉතා හිතවත් සහෝදර සහෝදරියන් ද මරති. මව්පියන් ද මරති. අඹුදරුවන් ද මරති. ශ්‍ර‍මණයන් බ්‍රාහ්මණයන් නසති, ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන්ට අපරාධ කරති, යුද කොට සිය ගණන් දහස් ගණන් මිනිසුන් මරති. සමහර විට තමාගේ ජීවිතය ද නසා ගනිති. මේවායින් තමාට හා අනුන්ට ද වන්නා වූ අනර්ථය ඉතා විශාලය. දුක ඉතා විශාලය.

ක්‍රෝධය විෂ මිශ්‍ර‍ මිහිරි බොජුනක් වැන්නකි. විෂ මිශ්‍ර‍ වුවද මිහිරි බොජුන් අනුභව කිරීමට මිහිරිය. නමුත් පසුව එයින් කටුක ඵල හටගනී. එමෙන් ක්‍රෝධය ද පරහට අනර්ථ කිරීමේ දී මිහිරිය. පසුව එය ඒ පුද්ගලයාට කටුක ඵල මෙලොව පරලොව දෙක්හිම ගෙන දෙන්නේ ය. ක්‍රෝධයෙන් තමාගේ වස්තුවට හානි කරගත් තැනැත්තාට එය සන්සිඳුනු කල්හි තමාගේ භාණ්ඩ නැති කමින් දුක්වන්නට සිදුවේ. පරභාණ්ඩයන් විනාශ කළා වූ ද පර පුද්ගලයන්ට හිංසා කළා වූ ද තැනැත්තන්ට මෙලොව දණ්ඩනයට පැමිණීමෙන් නෑයන් මිත්‍ර‍යන් ද සමග දුක්වන්නට සිදුවේ. මරණින් මතු නරකාදි සතර අපායෙහි ඉපිද බොහෝ දීර්ඝ කාලයක් දුක් වන්නට සිදුවේ. එබැවින් ක්‍රෝධය අනර්ථකර යයි ද දුක් උපදවන්නේ යයි ද කියන ලදි.

මේ මහානර්ථකර වූ ක්‍රෝධයෙන් සිත රැක ගැනීමට ඉවසීම පුරුදු කළ යුතුය. කොතෙක් ඉවසීම පුරුදු කළත් මාර්ගඥානයෙන් සර්වාකාරයෙන් ද්වේෂය දුරු කරන තෙක් කෝපය සර්වාකාරයෙන් නොහටගන්නා තැනට නොපැමිණේ. එබැවින් මහත් පරිශ්‍ර‍මයෙන් ඉවසීම පුරුදු කරන්නා වූ සත්පුරුෂයන්ට ද සමහර කරුණුවලදී කෝපය හටගනී. එසේ කෝපය හටගත් කල්හි ඒ කෝප නමැති සර්පයාට පිටවන්නට නොදී අභ්‍යන්තරයෙහිදී ම නැති කළ යුතුය. ඉවසීම පුරුදු කරන්නවුන් විසින් පුණ්ණ තෙරුන් වහන්සේ ආදර්ශයට ගත යුතු.

පුණ්ණ තෙරුන් වහන්සේගේ කථාව.

අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කල්හි පුණ්ණ තෙරණුවෝ එක්තරා පහසු ඇති තැනකට ගොස් මහණ දම් පුරනු කැමැත්තෝ තථාගතයන් වහන්සේ වෙත එළඹ, ඒ බව සැලකොට ශ්‍ර‍මණ ධර්මය මස්තකප්‍රාප්ත කරගන්නා පරිදි කොටින් අනුශාසනාවක් කරන ලෙස ඇයැද සිටියෝ ය.

තථාගතයන් වහන්සේ පුණ්ණ තෙරණුවන්ට චරිතානුකූල අනුශාසනාවක් කොට ඉක්බිති “පුණ්ණයෙනි, තෙපි මහණදම් පිරීමට කොහි යන්නහුදැ”යි විචාල සේක. පුණ්ණ තෙරුන් වහන්සේ “ස්වාමීනි, මම සුනාපරන්ත ජනපදයට යෙමි.”යි සැලකළෝ ය. ඉක්බිති තථාගතයන් වහන්සේ හා පුණ්ණ තෙරුන් අතර මතු දැක්වෙන කථාව කැරුණේ ය.

තථාගතයන් වහන්සේ: “පුණ්ණයෙනි, සුනාපරන්ත වැසි මිනිස්සු නපුරෝය. ඉදින් තොපට ඒ මිනිස්සු එහිදී බණින්නට පටන්ගත හොත් එකල්හි තොපි කුමක් කරන්නහු ද?”

පුණ්ණතෙරුන් වහන්සේ: “ස්වාමීනි, මේ මිනිස්සු යහපත් මිනිස්සු ය. මොවුහු මට බනින්නාහු නමුත් අතින් පයින් නො තලති”යි සිතමි.

තථාගත: “පුණ්ණයෙනි, ඉදින් ඒ මිනිස්සු තොපට අතින් පයින් තැළුවාහු නම් එකල්හි තොපි කුමක් කරන්නාහු ද?”

පුණ්ණ: “ස්වාමීනි, මේ මිනිස්සු යහපත් මිනිස්සු ය, මොවුහු අතින් පයින් ගසන්නාහු නමුත් මට ගල් නො ගසති.”යි සිතන්නෙමි.

තථාගත: “පුණ්ණයෙනි, ඉදින් සුනාපරන්ත වැසියෝ තොපට ගල් ගසන්නාහු නම් එකල්හි කුමක් කරන්නාහු ද?”

පුණ්ණ: “ස්වාමීනි, මොවුහු යහපත් මිනිස්සු ය, මට ගල් ගසන්නාහු නුමුත් පොලුවලින් නො ගසති”යි සිතන්නෙමි.

තථාගත: “පුණ්ණයෙනි, ඉදින් තොපට සුනාපරන්ත වැසියෝ පොලුවලින් ගසත් නම් එකල්හි කුමක් කරන්නහු ද?”

පුණ්ණ: “ස්වාමීනි, මේ සුනාපරන්ත වැසියෝ යහපත් මිනිස්සු ය. මොවුහු පොලුවලින් ගසන්නාහු මුත් ආවුධවලින් පහර නොදෙත්ය”යි සිතන්නෙමි.

තථාගත: “පුණ්ණයෙනි, ඉදින් සුනාපරන්ත වැසියෝ තොපට ආවුධවලින් ගසත් නම් එකල්හි කුමක් කරන්නහු ද?”

පුණ්ණ: “ස්වාමීනි, සුනාපරන්ත වැසියෝ යහපත් මිනිස්සු ය. මොවුහු ආවුධයෙන් ගසන්නා වූ නුමුත් මා නො මරති”යි සිතමි.

තථාගත: “පුණ්ණයෙනි, ඉදින් සුනාපරන්තයෝ තොප තියුණු වූ ආවුධවලින් ඇණ කොටා මරන්නහු නම් එකල්හි කුමක් කරන්නහු ද?”

පුණ්ණ: “ස්වාමීනි, ඉදින් සුනාපරන්තයෝ මා මරත් නම්, එකල්හි ශරීරය කෙරෙහි හා ජීවිතය කෙරෙහි කළකිරුණා වූ ඇතැම්හු දිවි නසවා ගනු පිණිස වධකයන් සොයා යන්නාහ. මම වනාහි නො සොයා ම වධකයන් ලදිමි”යි සිතන්නෙමි.

ඉක්බිති තථාගතයන් වහන්සේ පුණ්ණ තෙරුන් වහන්සේගේ මනා හික්මීම ගැන සාධුකාර දී සුනාපරන්තයට යනු පිණිස සමු දුන් සේක. පුණ්ණ තෙරණුවෝ සුනාපරන්තයට වැඩ ඒ වස්කාලය ඇතුළත පන්සිය දෙනකුන් උපාසක භාවයට ද පමුණුවා රහත් ව නිවන් දුටු සේක. මේ කථාව ආදර්ශයට ගෙන පුණ්ණ තෙරුන් වහන්සේ මෙන් ඉවසන්නට පුරුදු කර ගැනීමෙන් තම තමාගේ සිත් ආරක්ෂා කර ගනිත්වා!

4. උපනාහෝ චිත්තස්ස උපක්කිලේසෝ

හටගත්තා වූ ක්‍රෝධය සමහර විටෙක මතු නො පවත්නා පරිදි සන්සි‍දෙයි. සමහර විටෙක මතු මතු ද නැවත නැවත ඒ ක්‍රෝධය හට ගැනීමට හේතු වන්නා වූ එක්තරා ස්වභාවයක් චිත්තසන්තානයෙහි ඉතිරි කොට සන්සිදෙයි. එයින් විරුද්ධකාරයා සිහිවන විට ද දකින විට ද ඒ ක්‍රෝධය නැවත නැවතත් සිත්හි හට ගන්නේ ය. එසේ එක් පුද්ගලයකු ගැන ම නැවත නැවත හටගන්නා වූ ඒ ක්‍රෝධයට උපනාහය යි ද වෛරය යි ද කියනු ලැබේ. ඒ වෛරය සිත්හි හටගත් කල්හි එයින් පැමිණෙන්නා වූ බොහෝ වූ අනර්ථ නො පෙනෙන පරිදි සිත අඳුරු කරන බැවින් කිලිටි කරන බැවින් එය චිත්තෝපක්ලේශයකි. එයින් කිලිටි වූ සිත් ඇත්තා වූ සත්ත්වයෝ ඔවුනොවුන් කලහ කොට මහා විනාශයට පැමිණෙති. වෛරය දෙදෙනකු අතර වුවහොත් එයින් ඒ දෙදෙනා ම දෙලොවින් ම පිරිහෙති. පවුල් දෙකක් අතර වුවහොත් ඒ පවුල් දෙක ම පිරිහෙති. කුල දෙකක් ගම්දෙකක් රට දෙකක් ජාති දෙකක් අතර වූයේ නම් ඒ කුල ගම් රට ජාති සියල්ල ම පිරිහෙති. පිරිහෙන්නාහු ද සමහරු යස ඉසුරෙන් පිරිහෙති. සමහරු කොලොං ගස හා වලසා මෙන් සම්පූර්ණයෙන් විනාශයට පැමිණෙති.

කොලොං ගස හා වලසාගේ කතාව

එක් දවසක් වලසෙක් ආහාර සොයා ඇවිද අවුත් හිමාලය වන ප්‍රදේශයෙහි අතුපතරින් සම්පූර්ණ වූ මනා සෙවන ඇත්තා වූ කොලොං ගසක් මුල හොත්තේ ය. ඒ ගස දිරූ අත්තක් සුළඟින් බිඳී වලසා පිට වැටිණ. වේදනාවට පත් වූ වලසා බියෙන් නැගිට මඳක් දුර පලා ගොස් තමහට පහර දුන් සතුරා කවරෙක්දැයි බලනුයේ කිසිවකු නොදැක, “මෙය අනිකකුගේ වැඩක් නොව මේ ගස දෙවියාගේ ම වැඩක් විය යුතුය”යි දෙවියා කෙරෙහි අස්ථානයෙහි කෝප ව ගසමුලට ගොස් ගසට හැන “දෙවිය, මම තගේ ගසින් කොළ නො කෑවෙමි. අතු නො බින්දෙමි, වෙන හානියක් ද නො කෙළෙමි. මා හැර වෙනත් බොහෝ සිවුපාවෝ ද මේ ගස යට නිදා ගන්නාහ. නුඹ උන්ට කිසිවක් නො කොට මට පමණක් විරුද්ධ වූයෙහි ය. මමත් මෙයට පලි ගන්නෙමිය. කවදා නුමුත් මේ ගස සහමුලින් විනාශ කරන්නෙමිය”යි දෙවියාට තර්ජනය කොට ගොස්, වනයට ලී කපන්නට එන්නවුන් ගැන පරීක්ෂා කරමින් සිටියේ ය.

වලසා වෛරයෙන් සිටින කාලයෙහි එක් රිය වඩුවෙක් තවත් දෙතුන් දෙනකුන් සමග වෑ පොරෝ ආදිය ද ගෙන ලී කපනු පිණිස ඒ වනයට ගියේ ය. වලසා ඔවුන් දැක මෙය පසමිතුරාගේ පිටු දැකීමට හොඳ ම අවස්ථාව යයි සිතා සතුටුව ඔවුන් සමීපයට ගොස් වඩුවාට කථා කොට, “යහළුව, මේ වනයට කිනම් ගසක් කපනු පිණිස අවුදැ”යි ඇසීය. එකල්හි රියවඩුවා “යහළුව, වනයෙහි ම හැසිරෙන බැවින් නුඹ, ලී ගැන දන්නවා ඇත. රෝද පට්ටමට කිනම් ලී වර්ගයක් යහපත්දැයි කියනු මැනව”යි කීය. වලසා කොලොං ගසෙහි අගය කියා එය තිබෙන තැන ද වඩුවාට කීය. වඩුවා එහි ගොස් කොලොං ගහ කපන්නට වන. කොලොං ගස දෙවියා තමාගේ ගස කපනු දැක සිතනුයේ මේ වලසා ඌට කිසිවක් නො කළා වූ මා කෙරෙහි අස්ථානයෙහි වෛර බැඳ මාගේ ගස නසවන්නේ ය. මම ද මෙයට පලිගැනීමට උපායකින් මූ මරවන්නෙමි යි සිතා වනයෙහි හැසිරෙන මිනිසකුගේ වේසයෙන් වඩුවා සමීපයට ගොස් “යහළුව, මේ ගස කුමට කපන්නෙහිදැ”යි ඇසීය. “කරත්ත තනනු පිණිස කපමි”යි වඩුවා කීය.

ඉක්බිති දෙවියා “මෙය කරත්ත සැදුමට සොඳ බව කියනු ලැබුවේ කවරකු විසින්දැ”යි අසා “වලසා විසිනැ” යි කී කල්හි “යහළුව‍්, වලසාගේ කීම සැබෑය; මෙය රිය තැනීමට ඉතා යහපත්ය. මේ ලීයෙන් සෑදූ රෝදය වලස් සමින් වෙලුව හොත් ලෝහයෙන් කළ රෝදයක් සේ ඉතා ශක්තිමත් වන්නේ ය. වැඩි මිලකට විකිණිය හැකි ද වන්නේ ය”යි කීය. “වලස් සම් ලබන්නේ කෙසේදැ”යි වඩුවා ඇසීය. දෙවියා කියනුයේ “යහළුව, නුඹ මෝඩයෙක් ද? මේ ගස මෙතැන ම තිබෙනු මිස කොහි වත් නොයන්නේ ය. මෙය පසුවත් කපා ගත හැකිය. මේ ගස ගැන කී වලසා වහා සොයා ගොස් මෙහි අවුත් ගස කපන සැටි කියා දෙන්න යයි කියා රවටා ඌ මෙතැනට කැඳවා ගෙන එව. එකල්හි ඌ හොට දිගු කරමින් ගස කපන තැන් දක්වන්නේ ය. එකල්හි හදිස්සියෙන් ම උගේ හිසට පොරොවෙන් ගසා ඌ මරා සම ගලවාගෙන හොඳ මස් ද පිස කා ගස ද කපාගෙන යන්නෙහි”ය යි කීය. වඩුවා ඒ අසා “මට අද මගුල් දිනයකැ”යි සතුටු ව වලසා මරා කා ගස ද කපාගෙන ගියේ ය. වෛරය නිසා වලසා නැසිණ. දෙවියා ද වාසස්ථානයෙන් පිරිහිණ. මෙසේ ඔවුනොවුනට වෛර කරන්නා වූ සියල්ලෝ ම දෙලොවින් ම පිරිහෙන්නාහුය.

වෛරය දීර්ඝ කාලයක් පවතින්නා වූ දෙයකි. සමහරුන්ගේ වෛරය කිකිළියකගේ බිත්තර කෑ ළදැරියගේ වෛරය මෙන් මරණින් මතු ජාති බොහෝ ගණනකට ද යන්නේ ය.

කිකිළියගේ හා ළදැරියගේ වෛරය

සැවැත්නුවර සමීපයෙහි පණ්ඩුපුර නම් ගමෙක කෙවුලෙක් විය. ඔහු එක් දවසක් සැවැත්නුවරට යනුයේ අචිරවතී ගංගාවෙහි කැසැබු බිජු දැක ඒවා ද ගෙන ගොස් සැවැත්නුවර එක් ගෙයකදී පිස අනුභව කරනුයේ ඒ ගෙයි විසූ ළදැරියකට ද එක් බිත්තරයක් දිණ. ළදැරිය ද එය කා ඉන්පසු අන් දෙයක් නො කා බිත්තර ම ඉල්ලන්නට වූවා ය. ඇගේ මව් ඒ ගෙයි සිටින කිකිළිය බිජු ලන තැනින් එක් බිත්තරයක් ගෙන ළමයාට දුන්නීය. බිත්තර රසයට ගිජු වූ ළදැරිය එතැන් පටන් තමා ම එයින් බිත්තර ගෙන කන්නට වූවා ය. තමාගේ දරුවන් කන්නාවූ ළදැරියගෙන් පලි ගන්නට අසමර්ථ වූ කිකිළිය මතු ජාතියේදීවත් පළි ගන්නට සිතා ළදැරියගේ දරුවන් කන්නට සමර්ථ වූ යකින්නක් වන්නට ප්‍රාර්ථනා කළාය.

කිකිළිය මළ පසු ඒ වෛරය නිසා ම ඒ ගෙදර බැළලියක් ව උපන්නාය. ළදැරිය ද කළුරිය කොට ඒ ගෙයි කිකිළියක් වූවා ය. එයින් කෝප වූ කිකිළිය බැළලියට අන් කිසිවක් කරන්නට අසමර්ථ වූවා මතු ජාතියේ දරුවන් සහිත වූ මේ බැළලිය කන්නට ලැබේවා යි ප්‍රාර්ථනා කොට ඉන් චුතව දිවි දෙනක් ව උපන්නාය. බැළලිය ද මැරී මුව දෙනක් වූවා ය. ඇය දරුවන් ලද කල්හි දිවි දෙන අවුත් දරුවන් ද සමග මුවදෙන කෑවාය. මුවදෙන දිවි දෙන කෙරෙහි කෝපයෙන් මැරී යකින්නක් වූවා ය. දිවිදෙන සැවැත්නුවර කුල දුවක් වූවාය.

ඇය වදන වදන දරුවන් යකින්න ඇවිත් කන්නීය. එක් වරකදී යකින්න ඇගේ දරුවා කන්නට එන කල්හි ඇය සිටියේ දරුවා සමග දෙව්රම් වෙහෙර සමීපයේ ය. තථාගතයන් වහන්සේ ද ඒ වේලාවෙහි දහම් දෙසමින් වැඩ හුන් සේක. ඒ ස්ත්‍රිය යකින්න එනු දැක එන් පිහිටක් නැත්තී විහාරය තුළට වැද දරුවා තථාගතයන් වහන්සේගේ පා පුටුවෙහි හොයා යකින්නගෙන් ගලවා දෙන සේ යාච්ඤා කළාය. තථාගතයන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. දහම් අසා යකින්න තිසරණයෙහි හා පඤ්චශීලයෙහි පිහිටියා ය. ළදරුවාගේ මව් ද සෝවාන් වූවා ය. ඉන්පසු ඔවුන්ගේ වෛරය සන්සිඳුණේ ය. තථාගතයන් වහන්සේ වෙත නොපැමිණියාහු නම් ඔවුන්ගේ වෛරය තවදුරටත් ජාතියෙන් ජාතියට යන්නේය. මේ කතාවෙන් වෛරය ජාති බොහෝ ගණනක් ද යෑමෙන් දීර්ඝ කාලයක් පැවතී සත්ත්වයන්ට දුක් පමුණුවන දෙයක් බව දත යුතු.

කවුඩු බකමුහුණු වෛරය

ඇතැම් වෛරයෝ කවුඩු බකමුහුණු වෛරය මෙන් දරු මුණුබුරු පරම්පරාවට ද යන්නේ ය. කවුඩු බකමුහුණු වෛරය මෙසේ දතයුතු. ආදිකල්පයෙහි පක්ෂීහු ඔවුනට ද රජකු පත් කර ගැනුමට රැස්වීමක් පැවැත්වූහ. රජකමට සුදුසු පක්ෂියකු තෝරන්නාහු බකමූණා සුදුසු බව බොහෝ දෙනෙක් කීහ. එකල්හි එක් පක්ෂියෙක් බකමූණා රජකමට පත්කරනවාට කැමැත්ත විමසීය. දෙවරක් කැමැත්ත ඇසූ කල්හි සියලුම පක්ෂීහු තුෂ්ණීම්භූත වූහ. තුන්වන වර විමසීමේ දී කවුඩා කියනුයේ “පින්වත්නි, නොකිපී සිටින බකමූණාගේ මුහුණෙහි සැටි බලන්න. මොහු කිපියේ නම් අපට කුමක් නො කෙරේද? මොහුට රජකම පත්කිරීම මට නම් රුචි නො වේය”යි කීය. බකමුහුණා කෝප ව කවුඩා ලුහු බැඳ ගියේය. සෙසු පක්ෂීහු ස්වර්ණහංසයා රජකමට පත් කළෝය. මේ කවුඩු බකමුහුණු වෛරය පටන් ගත් සැටිය. මෙය පරම්පරාවට අවුත් අද දක්වා ද කවුඩු බකමුහුණු දෙපක්ෂය ඔවුනොවුන් සතුරුව සිටිති. දවල් කාලයේ දී බකමුහුණන් අසුවුව හොත් කවුඩෝ උන් මරා දමති.

මනුෂ්‍යයන් අතර ද මෙසේ පරම්පරාවට යන වෛර බොහෝ වෙති. යම් කිසිවකු විසින් අනිකකු හා වෛර කරන්නට පටන්ගත් කල්හි ඔහුගේ දරුවෝ ද පියාගේ වෛරය පිළිගෙන අනිත් තැනැත්තාගේ දරුවන් හා වෛර කරන්නට පටන් ගනිති. ඔවුන්ගේ දරුවෝ ද එසේම වෛර කරන්නට පටන් ගනිති. මෙසේ එක් වෛරයක් පරම්පරා බොහෝ ගණනක් යන තුරු ද පැවතිය හැකිය. එය බොහෝ දෙනකුට ම පිරිහීම පිණිස ද අනර්ථය පිණිස ද දුක් පිණිස ද පවත්නේය. තමා පමණක් නොව තමාගේ දරු මුනුබුරු පරම්පරාවත් විපතට භාජනය කරවන්නා වූ මේ වෛර නැමැති චිත්තෝපක්ලේශය සිත් සිත් සතන්වල ඇති වන්නට නොදී සිත් ආරක්ෂා කර ගනිත්වා!

“නහි වේරේන වේරානි - සම්මන්තීධ කුදාචනං

අවේරේන ච සම්මන්තී - එස ධම්මෝ සනන්තනෝ”

“වෛරය කරණකොට වෛරයෝ කිසි කලෙක නො සන්සි‍‍දෙන්නාහ. අවෛරයෙන් වෛරය සන්සිඳවීම වූ මේ ධර්මය පෞරාණිකය” යනු එහි අදහසයි.

5. මක්ඛෝ චිත්තස්ස උපක්කිලේසෝ.

තමහට මව්පිය ගුරුවරාදි ගුණවතුන් විසින් කළා වූ ගුණයන් සුළු කොට දක්වන්නා වූ ද, අගුණ කොට දක්වන්නා වූ ද, ඒවායින් තමන්ට පලක් නුවූ බව දක්වන්නා වූ ද, ගුණයක් නො කළ බව දක්වා සම්පූර්ණයෙන් කළ ගුණ අවලංගු කරන්නාවූ ද, ලෝකයෙහි වෙසෙන නොයෙක් තරාතිරම්වල ගුණවතුන්ගේ ඒ ඒ ගුණ සුළු කොට දක්වන්නා වූ ද, අගුණ කොට දක්වන්නා වූ ද, අවලංගු කරන්නා වූ ද, ස්වභාවය ගුණමකුබව නම් වේ. මෙය ඒ ඒ පුද්ගලයාට ඇත්තයුත්ත නො වැටහෙන පරිදි සිත අඳුරු කරන කිලිටි කරන ස්වභාවයක් වූයෙන් චිත්තෝපක්ලේශයකි.

මක්ඛයෙන් කිලිටි වූ සිත් ඇති පුද්ගලයා මව්පිය ගුරුවරාදි හිතවතුන්ගේ උපකාරයෙන් දියුණුවට පැමිණි කල්හි, අද මා මේ තත්ත්වයේ සිටින්නේ නුඹලාගේ උපකාරයෙන් ද? මාගේ වීර්‍ය්‍යය නැති නම් මේ තත්ත්වයට මා පැමිණේද යනාදීන් කියා මව්පියාදීන්ගේ ගුණය සුළු කොට හෝ කථා කරයි. “අද මා මේ තත්ත්වයේ සිටින්නේ නුඹලා කියන ලෙස කළ නිසාය. නැති නම් මට මීට වඩා බොහෝ උසස් වන්නට තිබුණේ ය”යි කියා ගුණය අගුණය කොට හෝ දක්වයි. ‘නුඹලා මා ගැන වෙහෙසුණ බව වියදම් කළ බව නම් සැබෑය. නුමුත් ඒවායින් මට සිදුවූ වැඩක් නැත. මා මේ තත්ත්වයේ සිටින්නේ මාගේ ම උත්සාහයෙනැ’යි කියා කළ ගුණ නිෂ්ඵල කොට හෝ දක්වයි. ‘නුඹලා මට කළ දෙයක් නැති ය’යි සම්පූර්ණයෙන් ම ගුණ නැති කර දැමීම හෝ කරයි.

ගුණමකු පුඟුලා අනුන්ගේ ගුණ නො කියයි. නො කියා ම බැරි තැනකදී අනුන්ගේ ගුණ කීවත් ඉතා සුළු කොට සැහැල්ලු කොට කියයි. තත් වූ පරිද්දෙන් අනිකකුගේ ගුණ නො කියයි. අනුන් ගුණ කියන කල්හි ද අනුමත නො කරයි. අනුන්ගේ ගුණ ඇසීමට ද කැමැත්ත නො දක්වයි. අනුන්ගේ අගුණ කීමටත් කියනු ඇසීමටත් ඉතා කැමතිය. පෙනෙන්නා වූ අනුන්ගේ ගුණය යටපත් කර දැමීම ද, අනුන්ගේ අගුණ ම සෙවීම ද ගුණමකුවන්ගේ ස්වභාවයයි. මේ ගුණමකු බව ම පාපයකි. මෙය මව්පියාදි ගුණවතුනට ද්‍රෝහිකම් කිරීමට ද මිත්‍ර‍යන්ට ද්‍රොහිකම් කිරීමට ද හේතු වෙයි.

ගුණමකුවා දෙවියන් සහිත ලෝකයාගේ ගර්හාවට භාජන වේ. ඔහුට උපකාරයක් කිරීමෙන් කරන්නාට පලක් නො වන බැවින් විපත්තියේ දී ද ඔහුට අනිකෙක් පිහිට නොවේ. ගුණමකුවාට උපකාර කිරීමෙන් උපකාරකයාට ඔහුගෙන් ලැබෙතොත් ලැබෙනුයේ කරදරයක් විපතක් පමණෙකි. එබැවින් නුවණැත්තෝ ගුණමකුවන් දුරු කරති. ඔවුන්ගෙන් දුරු වෙති. එබැවින් අනුන්ගේ සහයෝගය නො ලැබීමෙන් ගුණමකුවා දුකට ද පිරිහීමට ද පත් වෙයි. මරණින් මතු අපායට ද යෙයි. දෙලොව වැඩ කැමැත්තෝ තමාගේ චිත්තසන්තානයට මේ ගුණමකු බවට වැදෙන්නට නොදී සිහිනුවණින් සිය සිත් ආරක්ෂා කර ගනිත්වා!

6. පලාසෝ චිත්තස්ස උපක්කිලේසෝ

තමාට වඩා උගත් කම් ධනවත් කම් ගුණවත් කම් ආදියෙන් උසස් වූ පුද්ගලයන් හා තමා සම කොට ගන්නා වූ ස්වභාවය පලාස නම් වේ. මෙය සිත්හි හටගත් කල්හි තමාගේ හා අනුන්ගේ තත්ත්වය නො දැකිය හැකි පරිදි සිත අඳුරු වෙයි. එබැවින් එය චිත්තෝපක්ලේශයකි. එයින් යුක්ත වූ සිත් ඇත්තේ අනුන් ගෙන් ගත යුතු ධර්ම ශාස්ත්‍ර‍යන් නො ගැනීමෙන් ද, ගුරූපදේශ නො ගැනීමෙන් ද දියුණුවට නො පැමිණෙයි. නොයෙක් විට අනුන් හා තමන් නො දත් දේ ගැන වාදයට ගොස් ලජ්ජාවට පැමිණෙයි. දියකාවා කරන වැඩ කරන්නට ගොස් නැසුණු කපුටා මෙන් අනුන් කරනු දුටු, තමා නො දත් තමා අසමර්ථ දේවල් කරන්නට ගොස් ලජ්ජාවට ද පරිහාණියට ද විනාශයට ද පත්වෙයි.

දියකාවා කරන දෑ කරන්නට ගිය කවුඩා

එක් කලෙක දඹදිව කසීරට මහා දුර්භික්ෂයක් හට ගත්තේ ය. කවුඩන්ට ද ආහාර දුර්ලභ විය. නගර ග්‍රාම ඇසුරු කොට විසූ කවුඩෝ බොහෝ සෙයින් වනගත වූහ. මේ කාලයේ බෝසත්තුමා ද දියකාවකු ව ඉපිද හිමාලය වන පෙදෙසෙහි එක් විලක් ඇසුරු කොට විසුවේය. ඔහුගේ නම වීරකය, බරණැස් නුවර විසූ සවිට්ඨක නම් කවුඩෙක් කැවිඩියත් සමග ඒ වනයට ගියේ ය. දිනක් සවිට්ඨක ඒ විල සමීපයෙහි හැසිරෙනුයේ දිගේ ගැලී එහි මසුන් අල්වා කා, පියාපත් වේලමින් සිටි වීරක දැක “මේ දියකාවා නිසා බොහෝ මසුන් ලැබිය හැකිය. මොහුට උපස්ථාන කරමි”යි සිතා දියකාවා වෙත ගොස්, “හිමියනි, ඔබට උපස්ථාන කිරීමට කැමැත්තෙමි”යි කීය. දියකාවා ද “මැනව”යි කීය. සවිට්ඨක එතැන් පටන් වීරක හට උවටැන් කෙළේය. වීරක ද විලට බැස මසුන් අල්වා කා කවුඩාට ද බොහෝ මසුන් අල්වා දෙයි. කවුඩා කැමති තාක් කා ඉතිරි කොටස කැවිඩියට ද දෙයි.

මෙසේ කල් යවන අතර කවුඩාගේ මානය වැඩිණ. ඌ සිතනුයේ “මමත් කළුය. දියකාවාත් කළුය. පියාපත් පා ආදියෙන් ද දියකාවාත් මාත් සමානය. දියකාවා අල්ලන මසුන් කා මම කුමට ජීවත් වන්නෙම්ද? දියකාවාට මසුන් ගතහැකි නම් මට බැරි වන්නේ කෙසේද? මමත් අද පටන් දියකාවා මෙන් ම විලෙහි ගිලී මසුන් අල්ලා ගන්නෙමි”යි සිතා වීරකට ද ඒ බව කීය. එකල්හි වීරක, “නුඹ දියේ ගැලී මසුන් ගන්නා කුලයෙහි උපන්නේ නොවෙහිය, දියේ ගැලී නො මැරෙව”යි කී නමුත් එය ද නො පිළිගෙන තමාගේ සිත්හි හටගත්තා වූ පලාසයෙන් මුලා වූයේ විලට බැස මසුන් සෙවීමට දියේ ගැලී දිය සෙවෙල් සිඳ මතු විය නොහී දියසෙවෙල්වල පැටලැවී මළේය. දිය සෙවෙල් අතර හොට පමණක් මතු වී තුබුණේය. කැවිඩිය සැමියා දක්නට නැති ව වීරක සමීපයට ගොස් “සැමියාට කුමක් වී දැ යි දන්නෙහි දැ”යි ඇසීය. එකල්හි වීරක, -

උදක ඵල චරස්ස පක්ඛිනෝ

නිච්චං ආමකමච්ඡ භෝජිනෝ

තස්සානුකරං සවිට්ඨකෝ

සේවාලේ පලිගුණඪිතෝ මතෝ

දිය ගොඩ දෙක්හි ම හැසිරෙන්නා වූ නිතර අමු මස්ම භක්ෂණය කරන්නා වූ පක්ෂියාට අනුව වැඩ කරන්නට ගොස් දියසෙවෙල්හි පැටලී මළේ ය යි කීය. කැවිඩිය සැමියා නැත්තෙන් නැවත බරණැසට ම ගියාය.

පලාසය නිසා තමාට බැරි වැඩ කරන්නට ගොස් මළා වූ සවිට්ඨකයා මෙන් පලාසය ඇත්තෝ ඒ හේතුවෙන් නොයෙක් විට විනාශයට ද පැමිණෙන්නාහුය. පලාසය නිසා ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම් ආදියෙන් මරණින් මතු අපායට ද පැමිණෙන්නේ ය. එබැවින් අනර්ථකර වූ පලාසයට වැදිය නො හෙන පරිදි සිත් ආරක්ෂා කරත්වා!

7. ඉස්සා චිත්තස්ස උපක්කිලේසෝ

අනුන්ට සම්පත් තිබෙනවාට හා ලැබෙනවාට නොකැමති බව විරුද්ධ බව ඊර්‍ෂ්‍යා නමි. එය අනුන්ගේ ධනය, ගරු බුහුමන් ලැබීම, පූජාසත්කාර ලැබීම, පිරිවර, ශිල්පශාස්ත්‍ර‍ දත් බව, කථිකත්වය, පණ්ඩිත බව, සූරත්වය, රූපය, ත්‍යාගවත් බව, පරවැඩ කරන බව, සිල්වත් බව, ශරීර ශක්තිය, ආරෝග්‍ය යනාදි කරුණු සම්බන්ධයෙන් හටගන්නේ ය. එය හටගත් කල්හි සිතට බබලන්නට නො දෙන බැවින් සිත අඳුරු කරන බැවින් චිත්තෝපක්ලේශයෙකි.

එය අනුන්ගේ ධනය සම්බන්ධයෙන් හටගත් කල්හි ධනය හෝ ධනහිමියා නසනු කැමති වෙයි. නැසෙනු දැක්මට කැමති වෙයි. ධනයට හෝ ධනවතාට කිසි හානියක් නො කළ හැකි කල්හි මොහු දැන් පොහොසත්ව සිටින මුත් පෙර නම් සිටියේ මෙසේ ය. මොහුගේ මව්පියන් සිටියේ මෙසේය යනාදීන් ධනවතා පහත් කොට හෝ සිතයි. කියයි. මොවුන්ට මෙපමණ හොඳ ඇඳුම් පැළඳුම් කෑම් බීම් යාන වාහන කුමට ද, මොවුන්ගේ තත්ත්වයට මේවා සුදුසු නො වේ ය කියා ද සිතයි. කියයි. එසේ සිතමින් කියමින් අනුන්ගේ ධනය නිසා ඊර්‍ෂ්‍යාකාරයා තැවෙයි. වෙහෙසෙයි. අනුන්ට ලැබෙන ගරු බුහුමන් පූජාසත්කාර ගැන හා අනුන්හට ඇත්තා වූ ඥාති මිත්‍රාදී පිරිවර ගැන හටගන්නා වූ ඊර්‍ෂ්‍යාව ද ධනය සම්බන්ධයෙන් හටගන්නා ඊර්‍ෂ්‍යාව මෙන්ම පවතී.

අනුන්ගේ ශිල්ප ශාස්ත්‍ර‍ සම්බන්ධයෙන් ඊර්‍ෂ්‍යාව හටගත් කල්හි ඒවා සැහැල්ලු කොට දක්වයි. කථික බව පණ්ඩිත බව පිළිබඳව ඊර්‍ෂ්‍යාව හටගත් කල්හි ඔබඳු කථිකයෝ ඔබඳු පණ්ඩිතයෝ තවත් නැද්ද යනාදීන් ඒ ඒ තැනැත්තාට ගර්හා කරයි. අනුන්ගේ රූපය පිළිබඳ ඊර්‍ෂ්‍යාව හටගත් කල්හි එය පහත් කොට කථා කරයි. අනුන්ගේ ත්‍යාගවත් බව පරවැඩ කිරීම පිළිබඳ ඊර්‍ෂ්‍යාව හටගත් කල්හි ඒවා වළක්වන්නට උත්සාහ කරයි. නො හැකි කල්හි පහත් කොට කථා කරයි. සිල්වත් බව පිළිබඳව ඊර්‍ෂ්‍යාව හටගත් කල්හි සිල්වතා ලවා වරද කරවන්නට උත්සාහ කරයි. සිල්වතා අතින් වරද කරනු දක්නට රිසි වෙයි. සිල්වතා කිලිටි කොට කථා කරයි.

ඊර්‍ෂ්‍යාව සත්ත්වයන් කෙරෙහි බහුලව ඇති වන්නා වූ ක්ලේශයක් වූ නමුත් සත්ත්වයෝ ඒ බව නො දනිති. තමාහට අනුන් ඊර්‍ෂ්‍යා කරන බව නොයෙක් විට කියනු ඇසෙයි. තමා අනෙකකුට ඊර්‍ෂ්‍යා කරන බව තමාගේ සිත්හි ඊර්‍ෂ්‍යාව හට ගත් බව කිසිවකු විසින් කියනු නොඇසෙයි. ඊර්‍ෂ්‍යාව ඉතාමත් අධික පුද්ගලයා පවා කියනුයේ තමා කිසිවකුට ඊර්‍ෂ්‍යා නො කරන බවය. තමාගේ ශුද්ධත්වය දැක්වීමට මේ මනුෂ්‍යයන් විසින් නොයෙක් විට බොරු ද කියන නමුත් ඊර්‍ෂ්‍යා කරමින් ම ඊර්‍ෂ්‍යාව නැති බව කියනුයේ තමාගේ සිතේ හට ගන්නා ඊර්‍ෂ්‍යාව තමාට නො වැටහෙන හෙයිනි. තම තමා තුළ හට ගන්නා ඊර්‍ෂ්‍යාව තම තමාට ම නො වැටහීම මෙය නැවත නැවත හට ගැනීමට, වැඩීමට බලවත් හේතුවකි.

පණ්ඩිතකම යයි සිතාගෙන සිටින මෝඩකම කවදාවත් දුරු නො වන්නාක් මෙන් ද, රෝගියාට තමා කෙරෙහි ඇති බව නොදැනෙන රෝගය දිනෙන් දිනම වර්ධනය වන්නාක් මෙන් ද, තමා කෙරෙහි ඇති බව ඒ ඒ පුද්ගලයාට නොදැනෙන ඊර්‍ෂ්‍යාව වර්ධනය ම වනු මිස සිතින් දුරු නොවේ. එබැවින් ඊර්‍ෂ්‍යාව දුරු කරනු පිණිස තමා තුළ ඊර්‍ෂ්‍යාව ඇති බව නොයෙක් විට හටගන්නා බව නුවණින් නැවත නැවත විමසා තේරුම් ගත යුතු. “ඊර්‍ෂ්‍යාව තමාගේ සිත්හි නැත්තේය. නූපදින්නේය”යි කිසි කලෙක නොසිතිය යුතුයි. මට නම් ඊර්‍ෂ්‍යාවක් නැතය යි සැම දෙනාට ම සිතෙන්නේ, එය නො වැටහෙන හෙයින්ම ය.

ඊර්‍ෂ්‍යාව සත්ත්වයන් කෙරෙහි කොතරම් බහුලව හටගන්නේ ද යතහොත්: දරුවාට මව පමණ හිතවත් කෙනෙක් නැත. මවට දරුවා පමණ හිතවත් කෙනෙක් නැත. එහෙත් සමහර විටෙක සමහර මව්වරුන්ගේ සිත්හි ස්වකීය දරුවා ගැන ද ඊර්‍ෂ්‍යාව හට ගනී. දරුවාගේ සිත්හි ද මව ගැන ඊර්‍ෂ්‍යාව සමහරවිට හටගනී. පුත්‍ර‍යන් කෙරෙහි පවා අන්‍යොන්‍ය ඊර්‍ෂ්‍යාව හටගන්නා කල්හි සෙස්සන් ගැන කියනුම කිම? තමා කරන කාර්‍ය්‍යය ම කරන්නන් සම්බන්ධයෙන් මෙය බොහෝ සෙයින් හටගනී.

ඊර්‍ෂ්‍යාව නිසා ලොවට සිදු වී තිබෙන විපත ඉතා මහත්ය. මුළුලොව ම ඊර්‍ෂ්‍යාවෙන් පෙළනු ලබයි. මෙය ලෝකයෙහි නොවී නම් මේ සත්ත්වයෝ ඔවුනොවුන් හා සමගියෙන් ප්‍රිය චක්ෂුසින් ඔවුනොවුන් දෙස බලමින් මිත්‍ර‍ ලීලාවෙන් කල් යවන්නාහ. එසේ නොව ඔවුනොවුන් ගැන සැකයෙන් බියෙන් මිරිකෙමින් ප්‍රීතියක් නැති ව මේ සත්ත්වයන්ට වාසය කරන්නට සිදුවී තිබීමට එක් හේතුවක් මේ ඊර්‍ෂ්‍යාව ය.

ලෝකයෙහි ඊර්‍ෂ්‍යාව නිසා කරන්නා වූ අපරාධ බොහෝය. සැඟවී සිට මිනී මැරීම, රාත්‍රීකාලයේ අවුත් පහර දී පලා යාම, වස කැවීම, සූනියම් කිරීම, වස්තු සොරා ගැනීම, විනාශ කර දැමීම, කේලාම් කියා ඔවුනොවුන් භේද කිරීම, බොරු නඩු කීම, බොරු සාක්කි දීම, ඔවුනොවුන් බැණ ගැනීම, කෝලාහල කර ගැනීම යන ආදී බොහෝ පව්කම් ඊර්‍ෂ්‍යාව නිසා සිදුවන්නේ ය. එබැවින් ඊර්‍ෂ්‍යාව නිසා ඊර්‍ෂ්‍යා කරන පුද්ගලයා ඇතුළු එයට ලක් වන්නෝ ද මෙලොව මහත් පරිහාණියට, දුකට පැමිණෙත්. මරණින් මතු මේ ඊර්‍ෂ්‍යාව සත්ත්වයා අපයාට ගෙන යන්නේ ය. එබැවින් මෙය සත්ත්වයා දෙලොවින් ම පිරිහෙන්නා වූ දෙලොව ම දුක් උපදවන්නා වූ පාපයක් බව දත යුතු.

ඊර්‍ෂ්‍යාව නිසා ප්‍රේත වූ ස්ත්‍රියක්.

සැවැත් නුවර විසූ එක් පුරුෂයකුට මත්තාය, තිස්සාය කියා භාර්‍ය්‍යාවෝ දෙදෙනෙක් වූහ. ඔවුන් අතුරෙන් මත්තා අශ්‍ර‍ද්ධාවත් වූ නපුරු වූ ඊර්‍ෂ්‍යා කරන්නා වූ තැනැත්තියකි. තිස්සා කරුණාවත් වූ සාමකාමී තැනැත්තියකි. ඕතොමෝ දිනපතා භික්ෂූන් සතර නමකට දන් දෙන්නීය. සැමියා ද තිස්සාවගේ ගුණවත් බව නිසා ඈට වඩා ඇලුම් කරන්නේය. මත්තා ඇයට ඊර්‍ෂ්‍යා කරන්නීය. කිසි පිනකුදු නොකරන්නීය. ඕ තොමෝ පසු කාලයේ දී කාලක්‍රියා කොට ඊර්‍ෂ්‍යා කිරීම වූ පාපයෙන් ප්‍රේත ව උපන්නීය. ඕතොමෝ තමා කළ කර්මානුරූප වශයෙන් දුක් පසක් විඳින්නීය. එක් දවසක් ඒ ප්‍රේතිය සවස් කාලයේ ගෙයි පිටිපස තිස්සා නමින් සිටියදී ඇය ඉදිරියේ පෙනී සිටියාය. තිස්සා ඇය දැක “තී කවරියක්දැ”යි විචාළාය. එකල්හි ප්‍රේතිය මත්තා බව කීය. ඉක්බිති ඔවුන් අතර මතු දක්වන පරිදි කථාවක් වූයේ ය.

තිස්සා : “තී මිනිස් ලොවදී කිනම් පාපයක් කෙළෙහි ද? කිනම් පාපකර්මයක විපාකයෙන් ප්‍රේතව උපන්නෙහි ද?

මත්තා : මම චණ්ඩ වූ පරුෂ වූ ඊර්‍ෂ්‍යා කරන්නා වූ මසුරු වූ තැනැත්තියක් වීමි. ඒ මම නොමනා වචන කියා ප්‍රේත ලෝකයට පැමිණියෙමි.

තිස්සා : තිගේ ශරීරය සෑම තැන ම ධූලි තැවරී තිබෙන්නේ කුමක් නිසා ද?

මත්තා : එක් දවසක් තී නා පිරිසිදු ව මට වඩා හොඳින් සැරසී මා බලා සිටියදී සැමියා හා බොහෝ වේලාවක් කථා කරමින් සිටියෙහි ය. එය ඉවසිය නොහැකි මම ගෙය හැමද එකතු කර තුබූ කසල ගොඩ ගෙන තිසේ හිස මත හෙලූයෙමි. දැන් මගේ ශරීරයෙහි ධූලි තැවරී තිබෙන්නේ ඒ නිසාය.

තිස්සා : ඒ බව මම දනිමි. අනිකකුදු දනු කැමැත්තෙමි. තිගේ ඇඟ කසන්නේ කවර හේතුවකින් ද?

මත්තා : එක් දවසක් අපි දෙදෙනා බෙහෙත් ගෙනෙනු පිණිස වනයට ගියෙමු. එදා කහඹිලියා ගෙඩි ගෙන වුත් තිගේ සයනයෙහි රහසින් විසුරුවා ලීමි. ඒ පාපයෙන් දැන් මාගේ ඇඟ කසන්නේ ය.

තිස්සා : එය ද මම දනිමි. අනිකකුදු අසනු කැමැත්තෙමි. එද කියනු මැනවි. නුඹට හඳින වස්ත්‍ර‍ නැත්තේ කුමන පාපයකින් ද?

මත්තා : එක් දවසක් නුඹ සැමියා සමග මඟුල් ගෙයකට යන්නට සූදානම් ව සිටියාය. එදා මම නුඹේ ඇඳුම් සොරා ගතිමි. මට දැන් වස්ත්‍ර‍ නැත්තේ ඒ පාපයෙනි.

තිස්සා : එය ද මම දනිමි. අනිකකුදු අසනු කැමැත්තෙමි. තිගේ ශරීරයෙන් අසූචි ගඳ හමන්නේ කවර පාපයකින් ද?

මත්තා : මම එක් දවසක් තිගේ මල් හා සුවඳ ද විලවුන් ද ගෙන අසූචි වළක බහාලීමි. මගේ ශරීරයෙන් අසූචි ගඳ හමන්නේ ඒ පාපයෙනි.

තිස්සා : එසේ කළ බව මම දනිමි. අනිකකුදු කියනු මැනව. තී මෙපමණ දිළිඳු වූයේ කවර හේතුවකින් ද?

මත්තා : අප දෙදෙනාට ම වස්තුව සම ව තිබුණේ වී නමුත් මම කිසි පිනක් නො කෙළෙමි. දිළිඳු වූයේ එහෙයිනි.

තිස්සා : තිට මා දෙන්නේ කුමක්ද? තිට දුකින් මිදෙනු පිණිස මා කරන්නේ කුමක්ද? කළ යුත්තක් ඇත්නම් කියව. කියන දෙයක් මම කරන්නෙමි.

මත්තා : භික්ෂූන් වහන්සේ අටනමකට දන් දී මට පින් දුන මැනව. එයින් මට සැප අත් වන්නේය.

තිස්සා ඇය සුවපත් කරවනු කැමැත්තී ප්‍රේතියගේ කීම පරිදි භික්ෂූන් වහන්සේලා අටනමකට දන් දී සිවුරු ද පුදා ඇයට පින් පැමිණවූවාය. ඒ පින් අනුමෝදන් වීමෙන් ප්‍රේතිය සුවපත් වූවා ය.

පරහට ඊර්‍ෂ්‍යා කරන්නා වූ අසත්පුරුෂයන්හට මරණින් මතු මත්තාවට මෙන් ප්‍රේත ව උපදින්නට හෝ නරකයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ඉපද බොහෝ කල් දුක් වන්නට සිදුවන්නේ ය. ඔවුහු මිනිස් ලොව උපන්නාහු ද ඒ හේතුවෙන් සැමට ම යටත්ව විසිය යුතු කිසිදු ආනුභාවයක් නැත්තා වූ යාචකයන් දාසයන් වැනි පුද්ගලයෝ වෙති. අන්‍යයන් විසින් නො සලකනු ලබන්නෝ වෙති. දිළිඳු වෙති. විරූප වෙති.

මෙසේ බොහෝ ආදීනව ඇත්තා වූ මේ ඊර්‍ෂ්‍යාව නැමැති පාප ධර්මයට සිත් සතන්හි උපදින්නට නො දී නුවණැත්තෝ තම තමා ගේ සිත ආරක්ෂා කරත්වා! හදිසියෙන් සිත් සතන්හි ඊර්‍ෂ්‍යාව පහළ වූයේ ද එය ප්‍ර‍කාශ නො කොට පරපීඩනාදියෙන් ක්‍රියාවෙහි නො යොදවා වහා ම සිතින් බැහැර කොට සිත ශුද්ධ කර ගනිත්වා!

8. මච්ඡරියං චිත්තස්ස උපක්කිලේසෝ

තමා අයත් සම්පත් අනුන් හා සාධාරණ වනු නො ඉවසීම, සාධාරණවීමට නො කැමති බව මච්ඡරිය නමි. මසුරු බව යනු ද එයට ම නමි. මෙය හටගත් කල්හි සිත අඳුරු කරවන හෙයින් චිත්තෝපක්ලේශයකි. තමා අයත් සම්පත් අනුන් හා සාධාරණ වීම යනු ඒවා අන්හට හිමිවීම හා තමාගේ අයිතිය තිබියදී ම ඒවායින් අනුන් විසින් ද ප්‍රයෝජන ගැනීමය. මච්ඡරිය නම් වූ මේ චෛතසික ධර්මය සිත්හි හටගත් කල්හි එයට ඒ පුද්ගලයා විරුද්ධ වෙයි. මසුරු පුද්ගලයා ශ්‍ර‍මණ බ්‍රාහ්මණාදි කිසිවකුට බත් සැන්දකුදු දෙනු කැමති නො වෙයි. නමුත් මච්ඡරියය ලෝභය නොවේ. එය ක්‍රෝධය සේ රෞද්‍ර නොවූ සූක්ෂ්ම ද්වේෂය හා එක්ව හටගන්නා ධර්මයකි. ලෝභය හා එක් ව කිසිකලෙක නූපදී. නමුත් මච්ඡරියය පහළ වීමට, එයට පූර්වභාගයෙහි හටගන්නා වූ ලෝභය උපනිඃශ්‍ර‍ය වෙයි. මෙය ඊර්‍ෂ්‍යාවට ද බොහෝ සමානය. වෙනස නම් ඊර්‍ෂ්‍යාව අනුන් අයත් සම්පත් සම්බන්ධයෙන් පැවැත්ම හා මච්ඡරිය තමා අයත් සම්පත් සම්බන්ධයෙන් පැවැත්මය. ලෝභ, ඉස්සා, මච්ඡරිය යන තුන අවුල් කර නොගනිත්වා!

ලෝභියා ද මසුරා ද යන දෙදෙන ම දීමට විරුද්ධත්වයෙන් සම වෙති. ලෝභියා වස්තුව කෙරෙහි ඇල්ම නිසා නො දෙයි. මසුරා අනුන්ට හිමි වීමට නො කැමැත්ත නිසා නො දෙයි. තමහට ඕනෑවට වඩා රැස්වී තිබෙන බොහෝ ද්‍ර‍ව්‍ය දිර දිරා යද්දී ද කුණු වෙවී යද්දී ද මසුරා ඒවා එසේ ම විනාශ වන්නට හරිනු මිස අනිකකුට නො දෙයි. කොපමණ වස්තුව තිබුණත් සියල්ලම සඟවා කිසිවක් නැති බව දැක්වීම ද මසුරාගේ ස්වභාවයෙකි. මේ මසුරුකම බොහෝ අනිෂ්ට විපාක දෙන්නා වූ පාපයකි. මසුරෝ මසුරුකම නිසා මෙලොවමත් නොයෙක් පිරිහීම්වලට භාජනය වෙති. ස්වභාවයෙන් ම මසුරෝ සෙස්සන්ට තබා ස්වකීය අඹුදරුවන්ට පවා අප්‍රිය වෙති. එබැවින් අන්‍යයන්ගේ සහයෝගය ලැබිය යුතු තැන්වලදී එය ඔවුහු නො ලබති. ඔවුන්ට විපත්තියේ දී සතුටු වන්නෝ ම බොහෝ වෙති. අනුකම්පා කරන්නෝ අත්‍යල්ප වෙති.

සමහර විටෙකදී මසුරෝ අදින්නපුබ්බක බමුණා මෙන් මහා පිරිහීම්වලට ද මහා දුක්වලට ද පත්වෙති. අදින්න පුබ්බක බමුණා තද මසුරෙකි. සතළිස්කෝටියක් ධනය ඇත ද යාචකයකුට බත් සැන්දකුදු නොදෙයි. ඔහුට සිටියේ එක ම පුත්‍රයෙක් පමණෙකි. ඔහු ගිලන් වූ කල්හි ද බමුණා වැටුප් දෙනු නො කැමැත්තෙන් වෙදකු නො ගෙන්වීය. එයින් ඔහුට සිටියා වූ එක ම පුත්‍ර‍යා නැතිවිය. මෙසේ මසුරෝ නොයෙක් විට ස්වල්ප දෙයක් රක්නට ගොස් මහා පිරිහීම්වලට පත්වෙති. මරණින් මතු ද මසුරෝ බොහෝ සෙයින් ප්‍රේතව ඉපද, අහර සොයා දවස මුළුල්ලේ ම යොදුන් ගණන් දුර ඇවිද කිසිදු අහරක් නො ලබමින්, පැන් නො ලබමින්, හඳනට වස්ත්‍ර‍ නැත්තෙන් නග්නව, වාසස්ථාන නැත්තෙන් බිම නිදමින් තමා රැස්කර තැබූ ධනය අනුන් භුක්ති විඳිනු බලා සුසුම් ලමින් බිම සැපි සැපී හඬමින් දීර්ඝ කාලයක් දුක් විඳිති. මිනිස් ලොව උපන්නාහු ද ආනන්ද සිටු මෙන් මනුෂ්‍ය ප්‍රේත වෙති.

ආනන්ද සිටාණෝ

පෙර සැවැත් නුවර සතළිස් කෙළක් ධනය ඇත්තා වූ ආනන්ද සිටු නම් වූ තද මසුරෙක් විය. ඔහු සති දෙකකට වරක් නෑයන් රැස් කරවා නෑයන්ට ද, මූලසිරි නම් වූ තම පුත්‍ර‍යාට දවසට තුන් වරක් ද මෙසේ අවවාද කරයි.

මේ සතළිස් කෙළක් ධනය බොහෝ යයි නො සිතව. ඇත්තා වූ ධනය කිසිවකුටත් නො දිය යුතුය. අලුත් අලුත් ධනය නිපදවිය යුතුය. එක කහවණුවක් මුත් වියදම් කිරීමෙන් ධනය අඩු වන්නේ ය.

“අඤ්ජනානං ඛයං දිස්වා - උපචිකානඤ්ච ආචයං

මධුනඤ්ච සමාහාරං - පණ්ඩිතෝ ඝරමාවසේ.”

“වරකට ඉතා ස්වල්පයක් බැගින් කූරකින් ගෙන ඇස ගල්වන අඳුන්වල කලකින් ක්ෂය වීම ද, ඉතා ස්වල්පය බැගින් ගෙනවුන් කරන වේයන් ගේ තුඹස් බැඳීම ද, මීමැස්සන් සේ පැණි රැස් කිරීම ද බලා ආදර්ශයට ගෙන නුවණැත්තේ ගෘහයෙහි වසන්නේය” යනුයි.

මෙසේ පරහට ද මසුරු වනු පිණිස අනුශාසනා කරන්නා වූ ආනන්ද සිටු, තමා ගේ මහා ධනය පස පුත්‍ර‍යාට ද නො කියා කළුරිය කොට, සැවැත් නුවර සමීපයේ සැඩොල් ගමක සැඩොලියක කුස පිළිසිඳ ගත්තේය. රජතෙමේ ඔහුගේ කාලක්‍රියාව අසා මූලසිරිට සිටු තනතුර දිණ. ඒ සැඩොල් ගමෙහි පවුල් දහසක් වෙති. ඒ සියල්ලෝ ම එකට කර්මාන්ත කරන්නෝය.

ආනන්ද සිටු එහි පිළිසිඳ ගත් තැන් පටන් ඔවුනට ඒ වේලාව පසු කර ගැනීමට පමණ මුත් සහල් මිටක් පමණවත් ඉතිරි කර ගන්නට දෙයක් නො ලැබෙන්නට විය. පසු ව ඔවුහු අප දැන් බොහෝ වැඩ කොට ද කිසිවක් නො ලැබෙන්නේ අප අතර කාලකණ්ණියකු සිටීමෙන් විය යුතු යයි දෙකට බෙදුණෝ ය. මෙසේ ඔවුහු නැවත නැවත කොටස් කොටස් වී අන්තිමේ දී ආනන්ද සිටු පිළිසිඳ ගත් පවුල දක්වා වෙන් වූහ. ඉන්පසු ඒ අඹු සැමි දෙදෙන ද වෙන් වූහ.

ආනන්ද සිටුගේ මව යැපීමට පමණ වූ ආහාර ද ඉතා දුකගේ සිඟා ලබමින් ජීවත් ව දරුවා වැදුවා ය. ඔහුගේ අත් පා කන් නාසාදි එක ම අවයවයකුදු සුදුසු පරිදි නො පිහිටියේ ය. අංග විකලත්වයෙන් යුක්ත වූ ඒ දරුවා පංසුපිසාචයකු වැනි විය. කුසහොත් දරුවා ගැන මව්වරුන්ගේ ප්‍රේමය ඉතා අධික බැවින් පංසු පිසාචයකු වැනි වූ ද ඒ දරුවා ඈ පෝෂ්‍ය කළාය. ඇයට ඒ කාලකණ්ණි දරුවා සමග යන දිනවල කිසිවක් නො ලැබෙන්නේය. දරුවා තබා යන දිනවල දී බත් වැටුප් ලැබෙන්නේ ය. ඈ ඒ දරුවාට පිඬු සිඟා යා හැකි තරමට වැඩෙන තෙක් ඉතා දුකසේ පෝෂණය කොට “දරුව, නුඹ නිසා මම බොහෝ දුක් වින්දෙමි. සෑම කල්හි ම මෙසේ මා විසින් විඳිය නො හැකිය. මේ නගරයෙහි දුගී මගී යාචකයන්ට බත් දෙන තැන් ඇත. නුඹ ඒ තැන්වලට ගොස් සිඟා කා ජීවත්වෙව”යි කියා දරුවා බැහැර කළාය.

ඔහු සැවැත් නුවර ගෙපිළිවෙළින් සිඟ සිඟා යනුයේ ආනන්ද සිටු කලැ තමා විසූ ගෙය සමීපයට පැමිණි කල්හි පූර්ව ජන්මය සිහි වී තමාගේ ගෙට ගියේය. පළමුවන දෙවන තුන්වන දොරටුහල්වල රැකවල් ගෙන සිටි මිනිසුන් ගැන කිසිදු සැලකීමක් නො කොට ඔහු සතර වන දොරටුහල දක්වා ගියේ ය. එහිදී මූලසිරිගේ දරුවෝ පංසුපිසාචයකු වැනි වූ විරූප ඔහු දැක බිය වී හඬන්නට වූහ. එකල්හි එහි වූ මුරකරුවෝ “මේ කාලකණ්ණියා මෙහි කුමට ආයෙහි දැ”යි කියා තළ තළා බැහැර කරන්නාහු කසළගොඩකට ඇද දැමූහ. එදින බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ හා පිඩු සිඟා වඩනා සේක් මේ ප්‍ර‍වෘත්තිය ආනන්ද ස්ථවිරයන් වහන්සේට කී සේක.

එකල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ එතනට මූලසිරි කැඳවූහ. මහජනයා ද රැස් වූහ. බුදුරජාණන් වහන්සේ මූලසිරි අමතා, “නුඹ මොහු හඳුනන්නෙහිදැ”යි අසා “නො හඳුනමි”යි කී කල්හි, නුඹේ පියා වූ ආනන්ද සිටාණෝ යයි වදාරා ඔහු නො ගිවිස්නා කල්හි ආනන්ද සිටු ලවා පඤ්චමහා නිධානය ඇති තැන් මූලසිරිට කියවා විශ්වාස කරවූ සේක. එකල්හි මූලසිරි බුදුන් කෙරෙහි පැහැද සරණ ගියේය. එතැන්හිදී බුදුරජාණන් වහන්සේ:

“පුත්තාමත්ථි ධනම්මත්ථි

ඉති බාලෝ විහඤ්ඤති

අත්තාහි අත්තනො නත්ථී

කුතෝ පුත්තා කුතෝ ධනං”

යනුවෙන් බාලයා මාහට පුත්‍රයෝ ඇත. ධනය ඇත කියා දුක් වෙයි. තමා ද තමාට නැත. පුත්‍රයෝ කොයින් ද? ධනය කොයින් ද? මෙසේ දහම් දෙසූ සේක. ඒ දේශනාවසානයෙහි සුවාසූ දහසක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වූයේ ය.

සාමාන්‍ය මාත්සර්‍ය්‍යයට වඩා අධික වූ මාත්සර්‍ය්‍යකුදු වෙයි. එයට කදරිය ය යි කියනු ලැබේ. එයින් සිත අතිශයින් ම කිළිටි කරයි. කදරියයෙන් කිලිටි වූ සිත් ඇත්තේ තමා දන් දෙනු තබා අනුන් දෙනවාට ද කැමති නො වෙයි. අසදෘශ දානය ගැන සිත දූෂ්‍ය කර ගැනීමෙන් රටින් නෙරපනු ලැබූ කාල නම් ඇමතියා මෙන් අනුන් දෙනු දුටු කල්හි ද සිත දූෂ්‍ය කර ගනී. ආනන්ද සිටු මෙන් අනුන් දෙනු වළක්වන්නට අනුශාසනා කරයි. සමහර විට දෙන්නවුන් කෙරෙහි කිපෙයි. සමහර විට ප්‍ර‍තිග්‍රාහකයන් කෙරෙහි කිපෙයි. සමහර විට දායකයන්ට ආක්‍රෝශ ද කෙරෙයි. සමහරවිට ප්‍ර‍තිග්‍රාහකයන්ට ආක්‍රෝශ කෙරෙයි. පීඩා ද කරයි. මේ කදරියය බලවත් පාපයකි. එහි විපාක ඉතා දරුණු ය. ඒ බව උත්තර මාතාවගේ කථාවෙන් දතයුතු.

උත්තර මාතාවගේ කථාව

කොසඹෑ නුවර උදේනි රජුගේ උත්තර නම් ඇමැතිතුමා මහාකත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් බණ අසා බුදුසස්නෙහි පැහැද උපාසකත්වයට පැමිණ මහාවිහාරයක් ද කරවා නිතර දානාදි පින්කම් කරමින් විසුවේය. එතුමා ස්වකීය නෑයන් ද බුදුසස්නෙහි පැහැද වීය. අතිශයින් මසුරු වූ මව පමණක් පහදවන්නට නොහැකි විය. පුත්‍ර‍යා දන් දෙනු ඉවසිය නො හැකි ඕ තොමෝ “නුඹ මේ මහණුන්ට දෙන දන් පරලොව දී නුඹට ලේ වේවා”යි සාප කළා ය. ඕ තොමෝ කලුරිය කොට ප්‍රේතියක් වූවා ය.

ඕ තොමෝ පිපාසයට පැන් නො ලබන්නීය, පිපාසයෙන් පීඩිතව “පැන් බොමි”යි ගඟට බට කල්හි ගඟ ඇයට ලේ වන්නේ ය. ගඟින් පැන නො ලබා සුන් වූ ආසා ඇති ව ගඟින් ගොඩ නැග ගඟ දෙස බලන කල්හි ඇයට ගඟ පුරා ජලය පෙනෙන්නේ ය. බීමට යයි ගඟට බට කල්හි නැවතත් ඇයට ගඟ ලේ වන්නේ ය. ඈ මෙසේ පැන් නො ලබමින් පස් වනස් වසක් ගත වූවාට පසු දිවා විහරණය පිණිස එම ගංතෙරට පැමිණියා වූ කඞ්ඛාරේවත ස්ථවිරයන් වහන්සේ දැක හිසකෙස්වලින් විළි වසා උන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිට කියන්නී, “ස්වාමීනි, මම මිනිස් ලොවින් චුතව ප්‍රේත ව උපන් දින පටන් අද වන තුරු පනස් වස් වසක් මුළුල්ලෙහි ම එක ම දවසකුදු බත් හෝ පැන් නො ලදිමි. පිපාසයෙන් පෙළෙමි. මට බීමට පැනක් දුන මැනව”යි කීවාය.

එකල්හි තෙරුන් වහන්සේ කියන්නාහු “එම්බා ප්‍රේතිය, තී කුමට අපෙන් පැන් ඉල්ලන්නෙහි ද? හිමාලයෙන් ගලා එන්නා වූ සිසිල් දිය ඇති තෙල ගඟ නො පෙනෙන්නේ ද? ගඟින් පැන් ගෙන බොව”යි කීහ. ප්‍රේතිය “ස්වාමීනි, මා මේ ගඟින් පැන් ගත හොත් ඒ සියල්ල ලේ වන්නේ ය. එබැවින් නුඹ වහන්සේගෙන් ඉල්වමි”යි කීවාය. එබස් අසා තෙරුන් වහන්සේ මහත් සංවේගයට පැමිණ ඇය කළ පව් කම් ඇසූ කල්හි ප්‍රේතිය ද තමා පෙර ජාතියේදී කළ කර්මය තෙරුන් වහන්සේට සැළ කළාය. තෙරුන් වහන්සේ ඇය කෙරෙහි අනුකම්පාවෙන් භික්ෂූන් වහන්සේලාට පැන් හා අහර ද වස්ත්‍ර‍ද පුදා ප්‍රේතියට පින් පැමිණ වූහ. එයින් බත් පැන් වස්ත්‍ර‍ ලබා ප්‍රේතිය සුවපත් වූවා ය.

“යේධ මච්චරිනො ලෝකේ - කදරියා පරිහාසකා

අඤ්ඤෙසං දදමානානං - අන්තරායකරා නරා.

-

නිරයං තිරච්ඡානයෝනිං - යමලෝකඤ්චුප්ප පජ්ජරේ

සචෙ එන්තී මනුස්සත්තං - දලිද්දේ ජායරේ කුලේ.

-

චෝලං පිණ්ඩො රති ඛිඩ්ඪා - යත්ථ කිච්චෙන ලබ්භති.

පරතො ආසිංසරෙ භොගා - තම්පි තෙසං න ලබ්භති.”

“මේ ලෝකයෙහි මසුරු වූ ද, ප්‍ර‍තිග්‍රාහකයන්ට පරිභව කරන්නාවූ ද, දෙන්නා වූ අනුන්ට දීමට බාධා කිරීම් වශයෙන් අන්තරාය කරන්නාවූ ද, තද මසුරු වූ ද, යම් මනුෂ්‍ය කෙනෙක් වෙත්ද? ඔවුහු මරණින් මතු නරකයෙහි ද තිරිසන් යෝනියෙහි ද යම ලෝකයෙහි ද උපදනාහ. ඔවුහු ඉපදීම් වශයෙන් මිනිස් ලොවට එන්නහු ද, මිනිස් ලොව යම් කුලයෙක්හි වස්ත්‍ර‍ හා ආහාර ද පස්කම් සැපය ද ක්‍රීඩාව ද යන මේවා දුකසේ ලබත් ද, එබඳු වූ දිළිඳු කුලයක ම උපදනාහුය. ඔවුහු අනුන්ගෙන් සම්පත් බලාපොරොත්තු වෙති. නමුත් එද ඔවුනට නො ලැබේය” යනු ගාථාවල තේරුමයි.

“නවෙ කදරියා දේවලෝකං වජන්ති

බාලා හවේ නප්පසංසන්ති දානං

ධීරෝව දානං අනුමෝදමානෝ

තෙනෙව සෝ හෝති සුඛී පරත්ථ”

“කදරිය නම් වූ තද මසුරෝ දිව්‍යලෝකයට නො යන්නාහුය. ඒකාන්තයෙන් බාලයෝ දන් දීමට ප්‍ර‍ශංසා නො කරන්නාහුය. නුවණැත්තේ ම දන්දීම අනුමෝදන් වනුයේ එයින් පරලෙව්හි සැපවත් වන්නේය” යනු මෙහි තේරුම යි.

මාත්සර්‍ය්‍ය ප්‍රභේද

ආවාස මච්ඡරිය ය, කුල මච්ඡරිය ය, ලාභ මච්ඡරිය ය, වණ්ණ මච්ඡරිය ය, ධම්ම මච්ඡරිය ය යි මාත්සර්යය පඤ්ච ප්‍ර‍කාර වේ. මේ පඤ්චප්‍ර‍කාරය, අර්ථ කථාවෙහි වර්ණනා කර තිබෙන්නේ ශ්‍ර‍මණයන්ගේ වශයෙනි.

ප්‍ර‍ත්‍යය සුලභ වූ යම් ආවාසයක (විහාරස්ථානයක) වාසය කරන්නා වූ භික්ෂුවක් එතැනට සිල්වත් වූ ද අන් භික්ෂුවකගේ පැමිණීම නො කැමතිවේ ද, පැමිණියේ ද වහා යේවායි කියා ද, එය “ආවාසමච්ඡරිය” නම් වේ. කලහකාරාදි භික්ෂූන්ගේ එහි වාසයට නො කැමතිවීම ආවාසමච්ඡරිය නොවේ.

තමාගේ ඥාති කුලයකට හෝ උපස්ථායක කුලයකට හෝ අන් භික්ෂුවකගේ එළඹීම නො කැමති වේ නම් එය කුලමච්ඡරිය නම් වේ. කුල දූෂණාදිය කරන්නා වූ පාපී පුද්ගලයකුගේ පැමිණීම නො කැමතිවීම කුලමච්ඡරිය නොවේ. එබඳු පුද්ගලයෝ ඔවුන්ගේ ප්‍ර‍සාදය බිඳ දමති. ප්‍ර‍සාදය ආරක්ෂා කරන්නට සමර්ථ වූ සිල්වත් වූ භික්ෂුවගේ පැමිණීම නොරිසිවීම ම කුලමච්ඡරිය වේ.

අන් සිල්වත් භික්ෂුවක් සිව්පසය ලබන කල්හි ඒවා ඔහු නො ලබාවායි සිතන්නා වූ භික්ෂුවට ලාභ මච්ඡරිය වේ. යම්කිසි භික්ෂුවක් සැදැහැවතුන් දෙන සිව්පසය විනිපාතනය කෙරේ ද, තණ්හාව නිසා පරිභෝග නො කර තබා ගැනීමෙන් හෝ නුසුදුසු අයුරින් පරිභෝග කිරීමෙන් හෝ විනාශ කෙරේ ද, කුණුවී යතත් අනෙකකුට නොදේ ද, එබන්දකු දැක මෙතෙම මේවා නො ලබා අන් සිල්වතෙක් ලබා නම් මේවායින් ප්‍රයෝජනවේය යි සිතන්නාහට ලාභමච්ඡරිය නො වේ.

වර්ණය, ශරීරවර්ණය හා ගුණවර්ණය යි දෙවැදෑරුම් වේ. ශරීර වර්ණයෙහි මසුරු වූයේ අසවලා ප්‍ර‍සාදජනක රූපය ඇත්තෙක යනාදීන් අනෙකකුගේ රූප සම්පත්තිය කියන කල්හි එයට නො කැමති වෙයි. ගුණ වර්ණයෙහි මසුරු වූයේ අසවල් භික්ෂුව සිල්වත්ය යනාදීන් අනෙකකුගේ ගුණ කියන කල්හි එයට නො කැමති වෙයි.

ධර්මය ද පර්‍ය්‍යාප්ති ධර්මය, ප්‍ර‍තිවේධ ධර්මය යි ද්විප්‍රකාර වේ. එහි ප්‍ර‍තිවේධ ධර්මය යනු මාර්ග ඵලයෝය. මාර්ග ඵලලාභී ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ ඒ ධර්මයට මසුරු නො වෙති. අන්‍යයන් ඒ ධර්මය ප්‍ර‍තිවේධ කිරීමට සෑම කල්හි ම කැමති වෙති. මච්ඡරියය හටගනුයේ පර්‍ය්‍යාප්ති ධර්මය පිළිබඳව ය. ධර්ම මච්ඡරියයෙන් යුක්ත වූයේ තමා දත් ධර්මය අනුන් දැනගනු කැමති නො වෙයි. ධර්මය කියා දීමට නුසුදුසු පුද්ගලයකුට තමා දත් ධර්මය කියා නොදීම ධම්මමච්ඡරිය නොවේ.

ගෘහස්ථයන්ගේ වශයෙන් මච්ඡරිය පස මෙසේ දත යුතු. බොහෝ දෙනකුට අයිති ගෘහයක හෝ ඉඩමක වාසය කරන්නා වූ තැනැත්තා එතැනට අන් හිමියකුගේ පැමිණීම නො කැමති වේ නම්, පැමිණි කල්හි ද වහා යේවා යි සිතා නම් එය ආවාස මච්ඡරිය යි.

තමා ආශ්‍ර‍ය කරමින් උපකාර ලබන්නා වූ නෑ ගෙයකට හෝ මිතුරු ගෙයකට හෝ අන් නෑයකු ගේ මිතුරකුගේ පැමිණීම නො කැමතිවීම කුල මච්ඡරිය යි.

අනෙකකු විසින් යම් කිසිවක් කිරීමෙන් ලාභ ලබනු දුටු කල්හි ඒ ලාභ ඔහුට නො ලැබී තමාට හෝ තමාගේ කෙනකුට ලැබේවා යි සිතීම ලාභමච්ඡරිය යි. වණ්ණමච්ඡරිය, ධම්මමච්ඡරිය දෙක ගෘහස්ථයන්ට ද එසේම ය.

පඤ්ච මච්ඡරියන්ගේ විපාක

මේ පසක් වූ මච්ඡරියයන් අතුරෙන් ආවාස මච්ඡරියයෙන් මරණින් මතු යක්ෂයකු හෝ ප්‍රේතයකු ව, ඒ ආවාසයෙහි ගෘහයෙහි හෝ කසළ හිස මත තබා ගෙන හැසිරෙයි. කුලමච්ඡරියයෙන් තමා ප්‍රයෝජනය ලබන කුලයෙන් අනුන් ප්‍රයෝජනය ලබනු දුටු කල්හි, මෙතෙක් කල් මට උපකාර ව සිටි මේ කුලය මා හා බිඳුණේය යි සිතීමෙන් ලේ වමනය හෝ වෙයි විරේචනය හෝ වෙයි. අතුනු හෝ කැඩි කැඩී නික්මෙයි. ලාභමච්ඡරියයෙන් යක්ෂයෙක් හෝ ප්‍රේතයෙක් හෝ මහ පිඹුරෙක් හෝ වෙයි. වණ්ණ මච්ඡරියයෙන් උපනුපන් තන්හි විරූප වෙයි. ධම්ම මච්ඡරියයෙන් මෝඩයෙක් වෙයි. අන් ක්‍ර‍මයකින් මෙසේ ද දක්වා තිබේ. ආවාසමච්ඡරියයෙන් නරකයෙහි උපදී. කුල මච්ඡරියයෙන් ලාභ නොලබන්නේ වෙයි. ලාභ මච්ඡරියයෙන් ගුථ නරකයෙහි උපදී. වණ්ණ මච්ඡරියයෙන් උපනුපන් තන්හි දුර්වර්ණ වෙයි. ධම්ම මච්ඡරියයෙන් කක්කුල නරකයට යෙයි. මෙතෙක් දරුණු විපාක ඇත්තා වූ අනර්ථකාරී වූ මේ මච්ඡරිය දුරු කොට සිය සිත් සතන් ශුද්ධකර ගනිත්වා!

9. මායා චිත්තස්ස උපක්කිලේසෝ

තමා කරන වරදවල් සඟවන්නා වූ ස්වභාවය මායා නමි. මෙය ද සිත්හි හටගත් කල්හි සිත අඳුරු කරවන බැවින් චිත්තෝපක්ලේශයකි. මෙයින් සිත අඳුරු වූ කල්හි පව් කිරීමේ මහාදීනව රාසිය ඔහුට නො පෙනේ. රහසිගත ව කළ හැකි නම් ඕනෑම පවක් කළ යුතු සේ ඔහුට වැටහෙයි. ප්‍ර‍කාශයට නො පැමිණෙන සේ පාපය වසා ගත හැකි වුවහොත් එය ම පාපයෙන් නිදහසට ප්‍ර‍මාණ වේය යි ඒ අවස්ථාවට ඔහුට වැටහෙයි. ඒ මුළාව හේතු කොට ගෙන ඔහු අපමණ පව් කොට අපාගත වෙයි.

සැඟවී පව් කරන්නා වූ මායාකාරයා නිතර ම ශුද්ධ පුද්ගලයකු සේ පෙනී සිටින බැවින් අන්‍යයෝ ඔහුට අනුශාසනා නො කරති. පවින් මුදවා ගැනීමට වෑයම් නො කරති. කරන්නා වූ පව් ගැන සැකයක් ඉපදීමෙන්වත් අනෙකකු ඔහුට අනුශාසනා කළහොත් එබන්දක් නොකළ බව ඔහු තරයේ කියයි. එබඳු පාපයක් කිරීම වරදක් බවත් නො කළයුතු බවත් ඔහු පවසයි. එයින් අන්‍යයාට ඔහුට අවවාද අනුශාසනා කරන්නට කරුණක් නැති වෙයි. එබැවින් නො කළයුතු බව නො කරන බව කිය කියා රහසිගත ව පව් කරන්නා එයින් මිදවීමට ඉතා දුෂ්කර ය. එබැවින් මේ මායාව සත්ත්වයන්ට මහානර්ථකරය.

මායාවෙන් දූෂිත වූ සිත් ඇති ව රහසින් පව් කරන්නෝ ගිහි පැවිදි දෙපක්ෂයෙහි ම බොහෝය. ඔවුහු ඇතැම් විට තමා කරන පව් වසා ගැනීමට උපායක් වශයෙන් තමා රහසින් කරන පව් අනුන් කරන සේ කියමින් රටට අනුශාසනා කරති. ඇතැමෙක් පුවත්පත් මගින් ද අනුන් කෙරෙහි ආරූඪ කොට තමාගේ තත්ත්වය ම ප්‍ර‍කාශ කරති. මායාකාරයන් රහසින් කරමි යි සිතා පව් කරනමුත් පව් කරන්නට රහසක් තැනක් ලොව නැති බව තථාගතයන් වහන්සේ වදාළ සේක.

රහසින් කරමි යි සිතා කරන්නා වූ පව් වරක් දෙවරක් කිරීමෙන් ප්‍ර‍කාශයට නො පැමිණියත්, කලක් කරන කල්හි ඒකාන්තයෙන් ප්‍ර‍කට වන්නේය. ජනයා අතර ප්‍ර‍කට වීම හෝ නො වීම පව් කරන්නාහට ඒ හේතුවෙන් ලැබෙන දඬුවම ලැබීමට හෝ නො ලැබීමට කරුණක් නොවේ. යමකු කොපමණ සඟවා ගෙන පව් කළත් ඒවා ගැන දඬුවම් ලබාදීමට සාක්ෂ්‍ය කාරයෙක් ද සිටී. ඔහුට දැන නොගන්නට කිසිම පාපයක් කිසිවකු විසින් නො කළ හැකිය. පව් කරන සෑම තැනකම ඔහු සිටී. ඒ කවරෙක් ද? දෙවියෙක් ද? බ්‍ර‍හ්මයෙක් ද? ඊශ්වරයා ද? නොවේ. ඒ සාක්ෂ්‍යකාරයා නම් තමා ම ය. පාප කර්මයට හෝ පුණ්‍යකර්මයට හෝ විපාක දීමට වුවමනා වනුයේ ඒ තමාගේ දැනීම පමණය. තමා දැන නොගන්නා පාපයක් නම් නැත. පව් කළා වූ පුද්ගලයා හට තමා කළ ඒ පව් තමා දන්නා බැවින් මරණාසන්නයෙහිදී සිහි වන්නේය. කර්මය සිහි නුවූයේ ද, තමාගේ දැනීම හේතු කොට ගෙන කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හෝ මරණ සමයෙහිදී ඔහුට වැටහෙන්නේය. එයින් ඔහු කළ පාපයට දඬුවම් ලැබීම් වශයෙන් අපායට පැමිණෙන්නේය. මෙය ස්වභාව ධර්මය යි. මෙසේ ඇති කල්හි පව් සැඟවීමෙන් කවර පිහිටක් ද? පිහිටක් නැත්තේ ම ය. එබැවින් නුවණැත්තෝ රහසින් වුව ද පව් නො කරන්නාහ.

සීලවිමංසන ජාතකය

එක් කලෙක බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපද වැඩිවිය පැමිණ තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් වෙතට ගොස් එහි සිප් උගන්නා පන්සියයක් මාණවකයන්ට ප්‍ර‍ධාන ව ශිල්ප උගනිමින් උන්හ. දිසාපාමොක් ඇදුරුතුමාගේ තරුණ දියණියක් ද වූවාය. ඒ ඇදුරුතුමා තමා වෙත ශිල්ප ඉගෙන ගන්නා මාණවකයන් පරීක්ෂා කොට ඔවුන් අතුරෙන් සිල්වත් කෙනකුට තමාගේ දියණිය දෙන්නට සිතා එක් දවසක් මාණවකයන් සෑම දෙනා ම අමතා කියනුයේ “දරුවෙනි, මාගේ දියණියට විවාහ මංගලයක් කරන්නට දැන් කාලය පැමිණ තිබෙන්නේය. ඒ සඳහා ඇයට ඇඳුම් පැළඳුම් වුවමනාය. නුඹලා තම තමාගේ නෑ ගෙවලින් ඇඳුම් පැළඳුම් සොරා ගෙනවුත් මට දුන මැනව. අනෙකකු දන්නා පරිදි ගෙන ආ දෙයක් මම නො පිළිගන්නෙමි. මෙය සොරෙන් ම කරන්නට ඕනෑ ය”යි කීය.

මාණවකයෝ ද මැනව යි පිළිගෙන තම තමාගේ නෑ ගෙවලට ගොස් තම තමාට අසුවූ වස්ත්‍රාභරණ සොරා ගෙනවුත් ඇදුරුතුමාට දුන්හ. එතුමා ද ගෙනෙන ගෙනෙන ලද දෙය සලකුණු කොට වෙන් වෙන් ව තබා ගත්තේ ය. බෝසතාණන් වහන්සේ පමණක් කිසිවක් නො ගෙනාහ. ඉක්බිති ඇදුරුතුමා බෝසතාණන් වහන්සේට කියනුයේ “දරුව, අන් සෑම දෙනා ම මාගේ දියණිය පිණිස වස්ත්‍රාලංකාරයන් ගෙන ආවෝය. නුඹ පමණක් කිසිවක් නො ගෙනාවෙහිය”යි කීය. එකල්හි බෝසතාණන් වහන්සේ තමා වස්ත්‍රාභරණ නො ගෙන ඒමට කාරණය පවසන්නාහු. –

“නත්ථි ලෝකේ රහෝ නාම - පාපකම්මං පකුබ්බතෝ

පස්සන්ති වන භූතානි - තං බාලො මඤ්ඤතේ රහෝ

-

අහං රහෝ න පස්සාමි - සුඤ්ඤං වාපි න විජ්ජති

යත්ථ අඤ්ඤං න පස්සාමි - අසුඤ්ඤං හෝති තං මයා”

“ආචාර්යයෙනි, පව් කරන්නා වූ තැනැත්තා හට ලෝකයෙහි රහස් තැනක් නම් නැත. පාපය මිනිසුන් නුදුටුයේ ද වන දෙවියෝ හෝ දක්නාහුය. එය අඥයා රහසකැ යි සිතන්නේ ය. මම වනාහි පව් කිරීමට රහස් තැනක් නො දැක්කෙමි. කිසිවකු නැති හිස් තැනක් ද ලොව නැත්තේ ය. යම් තැනක අනෙකකු නො දක්නෙම් ද එබඳු තැනක් නැති බැවින් මට පාපය රහසක් නො වන්නේ ය. ඔබ පිළිගනුයේ ද රහසින් ගෙනා දෙයක්ම ය. එබැවින් මම කිසිවක් නො ගෙනාවෙමි”යි කීය. දිසාපාමොක් ඇදුරුතුමා බෝසතාණන් කෙරෙහි පැහැදී දියණිය බෝසතාණන්ට විවාහ කර දිණ. අන්‍යයන් සොරා ගෙන ආ බඩු නුඹලාගේ ගෙවලට ම ගෙන යව් ය යි ඔවුනට ම දුන්නේ ය.

මේ බෝසත් සිරිත ආදර්ශයට ගෙන මායාව නමැති චිත්තෝපක්ලේශය චිත්තවඞ්කතාව දුරු කරගෙන සෘජු ගුණයෙන් යුක්ත වී නියම සත්පුරුෂයෝ වෙත්වා!

10. සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලේසෝ

තමා කෙරෙහි අවිද්‍යමාන ගුණ ඇති සේ දක්වන්නා වූ ද, සමහර භාණ්ඩවල බඩුවල නැති ගුණ, නැති ස්වභාවයන් දක්වන්නා වූ ද, එක් අදහසකින් කරන ක්‍රියාවක් අනිකක් පිණිස කරන්නා වූ දෙයක් සේ දක්වන්නා වූ ද කෛරාටික භාවය සාඨෙය්‍ය නමි. රවටන ස්වභාවයයි ද එයට කියනු ලැබේ. ධර්ම වශයෙන් කෛරාටික බවය යනු පව් කිරීමෙහි උපාය සිතීම් වශයෙන් පවත්නා වූ ප්‍ර‍ඥාවක් නොවූ ප්‍ර‍ඥා ප්‍ර‍තිපරූපක මෝහය යි. මෙය ප්‍ර‍ඥාවට සමාන වන බැවින් පරමාර්ථ ධර්මයන්ගේ විශේෂ විභාග නොදන්නෝ ප්‍ර‍ඥාව යයි කියති. නමුත් කෛරාටික බව ප්‍ර‍ඥාව නොවේ. කිසිවක් ආවරණය කරන ස්වභාවයක් ප්‍ර‍ඥාවෙහි නැත. කෛරාටිකයාට ඒ ඒ පව් සිදු කිරීමේ උපාය පෙනෙනුයේ, වඤ්චාවෙහි හා වඤ්චාවෙන් කරන්නට යන පාප කර්මයාගේ ද ආදීනව වසාගෙනය. ඒ ආදීනව පක්ෂය මුවාවන්ට වන්නට පව් කිරීමේ උපාය වඩ වඩා වැටහෙන්නේ ය. මෙසේ ආදීනව පක්ෂය වැසීම ඇති නිසා කෛරාටික බව ප්‍ර‍ඥාව නොව මෝහය ම යයි දතයුතු. කෛරාටික බව වූ වඤ්චක ස්වභාවය ඒකාන්ත කුශලයකි. කුශල සිත් සියල්ලෙහි ම ඒ ඒ සිත්වල හා සම්ප්‍ර‍යුක්ත චෛතසිකයන්ගේ ද වංක බව දුරු කොට සෘජු බව සිදුකරන්නා වූ කායුජුකතා, චිත්තුජුකතා චෛතසිකයෝ ඇතහ. ඒ දෙකින් වියුක්ත වූ එකද කුශල් සිතක් නැත. කෛරාටික කම වනාහි අවංක බව නොව වංක බවයි. එබැවින් එය කිසි කලෙක කුශලයක් විය නොහේ. අකුශලයක් වුවහොත් එය ඒකාන්තයෙන් මෝහයෙන් යුක්ත වෙයි. මෝහයෙන් වෙන්ව උපදනා අකුශල සිතක් නැති බැවිනි. අන්‍යොන්‍ය විරුද්ධ වූ මෝහ ප්‍ර‍ඥා දෙක කිසිකලෙක එක් සිතෙක නො යෙදේ. එබැවින් කෛරාටික බව අකුසලයක් වීමෙන් ද ප්‍ර‍ඥාන නොව, මෝහය ම බව දත හැකි ය.

කෛරාටි බව වූ මේ මෝහය සිත්හි හටගත් කල්හි සිතට බබළන්නට නො දෙයි. අඳුරු කරයි. එබැවින් එය චිත්තෝපක්ලේශයකි. මෙයින් සිත අඳුරු වීම කොතරම් ද කියතහොත්, මෙය සිත්හි හටගත් කල්හි පාපයෙහි ආදීනවය සම්පූර්ණයෙන් වැසීමෙන් ඒ පුද්ගලයා මම කිසිවකුට නොරැවටෙමිය, කිසිවකුගේ ගැටයකට උගුලකට අසු නො වෙමිය, නමුත් මට නම් අන්‍යයන් රැවටිය හැකි ය. ගැටවලට අසු කළ හැකිය කියා ආඩම්බර ද වෙයි.

නැති ගුණ දක්වන කෛරාටිකයෝ ආඳුන් වැනි වෙති. ආඳුන්ගේ හිස් සර්පයන්ගේ හිස් වැනිය. වල්ගය මසුන්ගේ වැනිය. ඌ සර්පයන් දුටු කල්හි වල්ගය සඟවා හිස දක්වා සර්පයකු බව අඟවන්නේ ය. මසුන් දුටු කල හිස සඟවා ඔවුන්ට වල්ගය දක්වා තමා ද මසකු බව අඟවන්නේ ය. එසේ ම කෛරාටිකයෝ අනිකකුගෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලබනු රිසි වූ කල්හි ඒ තැනැත්තා කරා ගොස් අන්‍යයන්ගේ නුගුණ කියා ඔහුගේ ගුණ කියා තමාගේ නැත්තා වූ පක්ෂ බව හිතවත් බව පවසා සිත් ගෙන ප්‍රයෝගයෙන් තමාගේ කටයුත්ත සිදු කර ගනිති. නැවත පළමු අගුණ කී තැනැත්තා වෙත ගොස් ඔහුගේ ගුණ කියා අනික් තැනැත්තාගේ අගුණ කියා ඔහුට පක්ෂපාත බව හා හිතවත් බව දක්වා එතනින් ද තමාගේ අදහස් සිදු කර ගනී.

ඇතැම් කෛරාටිකයෝ තමා කෙරෙහි නැත්තා වූ සිල්වත්කම් ආදි තමා කෙරෙහි නැති ගුණ දක්වා ලොව මුළා කරවති. එසේ කරනුවන් බොහෝ සෙයින් ඇත්තේ පැවිද්දන් අතරය. ඔවුහු මිනිසුන් මුළා කරවා ලාභ ලබනු පිණිස පරණ දුර්වල සිවුරු දැරීම්, සුවපහසු නැති අසුන්වල විසීම්, කැපවූ ද ඇතැම් වස්තූන් පරිභෝග නො කිරීම්, අනුන්ගේ අගුණකීම් ආදියෙන් තමන් අන්‍යයන්ට වඩා සිල්වත් බව ලොවට අඟවති. ඇතැමෙක් වඩ වඩා ප්‍ර‍ත්‍යය ලබන අටියෙන් දායකයන් විසින් යම්කිසි දෙයක් පුදන්නට යන විට ඕවා හොඳ වැඩිය, ඕවා සිල් රක්නවුන්ට ඕනෑ නැත. ඕවා ලෝභය වැඩි කරන දේවල්ය යනාදීන් කියා ප්‍ර‍තික්ෂේප කිරීමෙන් තමාගේ ගුණවත් බව අඟවති.

කූට භික්ෂුවක්

පෙර විසූ එක් කෛරාටික භික්ෂුවක් තමා විහාරයෙහි ලොකු සැළියක් තබාගෙන තමා වෙත මිනිසුන් එනු දුටු කල්හි ඒ සැළියට වැද සැඟවෙයි. මිනිසුන් අවුත් ඔහුගේ අනුචරයන්ගෙන් “හාමුදුරුවෝ කොහිදැ”යි අසන කල්හි “හාමුදුරුවෝ ගෙයි වැඩ සිටිති”යි කියති. ඔවුන් ගෙය තුළට වැද සැම තැන ම ඇවිද බලා භික්ෂුව නො දැක ගෙයින් නික්ම යන්නට සූදානම් වන කල්හි භික්ෂුව සැළියෙන් නික්ම අසුනක හිඳ ගනී. මිනිසුන් හාමුදුරුවන් ගෙයි නැතිය යි කියන කල්හි අනුචරයෝ හාමුදුරුවෝ ගෙයිමය කියා නැවතත් මිනිසුන් එහි ම යවති. ඔවුහු ගෙය තුළට වැද බලන්නාහු පළමු නොදුටු භික්ෂුව සිටිනු දැක පුදුම වී “ස්වාමීන් අපි පළමු බලද්දී මෙහි නුඹ වහන්සේ නුදුටුයෙමු. නුඹ වහන්සේ කොයි වැඩිසේක්දැ”යි කියති. එකල්හි කෛරාටික භික්ෂුව ඔවුනට තමා සිතු සිතු තැනකට සෘධියෙන් යා හැකි කෙනකැයි හැගෙන්නට “උපාසකවරුනි, ශ්‍ර‍මණයෝ තමා කැමති කැමති තැනකට යන්නාහු නො වෙද්දැයි” කියයි. මෙසේ ඇතැම් කෛරාටිකයෝ තමාගේ ලාමක කම නිසා නො රහත්ව රහත් බව පවා හඟවති. කෛරාටිකකම් කරන්නන් විසින් එසේ කිරීම තමාගේ දක්ෂකමකැයි සලකා ගෙන කරන මුත් නොයෙක් විට ඒවා වැරදීමෙන් නුවණැතියන්ට අසුවීමෙන් ඔවුන්ට මෙලොවදී ම මහත් පිරිහීම්වලට පැමිණෙන්නට සිදුවන වාර බොහෝ ය. කූට තවුසාගේ කථාව එයට නිදර්ශනයකි. ඒ මෙසේ ය. –

කූට තවුසා

පෙර එක් ගමක් ඇසුරු කරගෙන එක් කෛරාටික තාපසයෙක් විසුවේ ය. ඔහුගේ කපටිකම්වලට රැවටී එක් පින් කැමති මනුෂ්‍යයෙක් සමීප වනයෙහි පන්සලක් කරවා කූට තවුසා එහි වාසය කරවා ඔහුට ප්‍ර‍ණීත ආහාර පානයෙන් උපස්ථාන කරමින් සිටියේය. එක් දවසක් ඒ මනුෂ්‍යයා තමා වෙත තුබූ රන් කහවණු සියයක් කූට තවුසා වසන තැනට ගෙන ගොස් ආරක්ෂාව සඳහා එහි පොළොවෙහි නිදන් කර තබා “ස්වාමීනි, මෙය බලා ගනු මැනව”යි තවුසාට ද කීය. පමණට වඩා සිල්වත් බව ශාන්ත බව දැක්වීම කෛරාටිකයන්ගේ ස්වභාවයකි. එබැවින් කූට තාපසයා කියනුයේ “පින්වත, මෙබඳු දේ පැවිද්දන් හට කීම නො වටනේ ය. අපට අනුන් අයත් වස්තු කෙරෙහි ලෝභයක් නම් නැතය.” යි කීය. ඔහු “එසේය ස්වාමීනි”යි කියා කූට තවුසාගේ වචනය විශ්වාස කොට ධනය එසේ ම තිබෙන්නට හැර ගියේය.

මුදල එහි තබා ටික දිනක් ගතවූවාට පසු කූට තවුසා “මේ මුදල ගෙන පලාගියහොත් මෙයින් මට පහසුවෙන් ජීවත්විය හැකි වන්නේ ය”යි සිතා එය ගෙන තමා පලායන්නට බලාපොරොත්තු වන මාර්ගයෙහි එක් තැනක සඟවා තබා නැවත පන්සලට අවුත් එදා එහි ම වැස දෙවන දවස්හි මුදල් තැබූ තැනැත්තාගේ ගෙට ගොස් එහි දන් වළඳා අවසානයෙහි තවුසා කියනුයේ “පින්වත, අපි ඔබ නිසා දීර්ඝකාලයක් මෙහි විසුවෙමු. දීර්ඝ කාලයක් එක් තැනක වසන කල්හි ගිහියන් හා බැඳීම ඇති වන්නේ ය. එය පැවිද්දන්ට කිලුටක් වන්නේ ය. එබැවින් අපි අන් පෙදෙසකට යමුය”යි කීය. දායකයා විසින් නැවතීමට නැවත නැවත යාඥා කළ නමුත් කූට තවුසා නො කැමති විය. එකල්හි දායකයා “එසේ නම් වඩිනු මැනව”යි කියා ගමේ කෙළවර දක්වා තවුසා හා ගමන් කොට වැඳ සමුගෙන නැවතිණ.

කූට තවුසා මඳ දුරක් ගොස් දායකයා තවත් රවටන්නට සිතා ජටාවෙහි පිදුරු ගසක් රඳවාගෙන නැවතත් ඒ ගෙට ම හැරී ආවේ ය. දායකයා “ස්වාමීනි, කුමන කරුණකින් වැඩියේදැ”යි ඇසීය. කූට තවුසා කියනුයේ පින්වත, ඔබගේ ගෙයින් පිදුරු ගසක් මාගේ ජටාවෙහි රැඳී තිබුණේ ය. සුළු දෙයක් පිළිබඳ වුවද අදින්නාදානය පැවිද්දන්හට නොවටනේ ය. එබැවින් මේ පිදුරු ගස නැවත මෙහි ගෙනාවෙමි”යි කීය. මෝඩ දායකයා “අහෝ! මේ ස්වාමීන් වහන්සේ කෙතරම් සිල්වතෙක් ද? මෙපමණ සුළු දෙයක් ගැන පවා සැක කරන්නාහ”යි වඩාත් පැහැද පිදුරු ගස දමා වැඳ පිටත් කෙළේය.

එදින මහ බෝසතාණෝ වෙළෙඳ බඩු සපයනු පිණිස ඒ ගමට පැමිණ ඒ ගෙයි නවාතැන් ගෙන සිටියහ. උන්වහන්සේ “තවුසාගේ කීම අසා” මේ කූට තවුසා විසින් මෙසේ කරන්නට ඇත්තේ මොහුගෙන් කිසිවත් ගත් බැවින් විය යුතුය”යි සිතා ඒ මිනිසාට කථා කොට “යහළුව, තවුසා වෙත තබන ලද කිසිවක් ඇත්ද?”යි විචාළහ. ඔහු රන්මිල සියයක් තබා ඇති බව කීහ. බෝසතාණෝ “වහා ගොස් එහි සොයා බලව”යි කීහ. ඒ මිනිසා පන්සලට ගොස් බලා මුදල් නැති බව දැක වහා අවුත් ඒ බව බෝසතාණන්ට කීහ.

බෝසතාණෝ “යහළුව, නුඹේ මුදල් අනිකකු විසින් නොගන්නා ලද්දේ ය. මේ කූට තවුසා විසින් ම ගන්නා ලද්දේ වන්නේ ය. එනු මැන, කූට තවුසා ලුහුබැඳ ගොස් මුදල ගෙන එමු”යයි කියා වේගයෙන් එලවා ගොස් තාපසයා අල්ලා අතින් පයින් තළා මුදල ආපසු ලබාගත්තේ ය. කූට තවුසා ඔහුගේ කපටිකම නිසා ලබමින් සිටි ලාභයෙන් ද පිරිහී ගුටි බැට කා නින්දාවට ද පැමිණ මහා විපතකට පත්විය. ඔහුට නැවත ඒ පෙදෙසට පැමිණෙන්නට නො හැකි විය. මේ කූට තවුසා මෙන් කෛරාටික කම් කරන ඇතැම්හු මෙලොවදී ද ඒවායේ ඵල ලබන්නාහුය.

වෙළඳුන්ගේ කම්කරුවන්ගේ සිත් කෛරාටික භාවයෙන් කිළිටි වූ කල්හි ඒ ඒ ද්‍ර‍ව්‍යයන්ගේ නැති ගුණ දක්වන්නාහ. කෛරාටික වෙළෙන්දා බාල බඩුව ඉස්තරම් බඩුවක් කොට ද, දුබල බඩු කල් පවත්නා බඩු කොට ද, පරණ බඩු අළුත් බඩු කොට ද, පලුදු ඇති බඩු හොඳ බඩු කොටද, රන් රිදී නොවන බඩු රන් රිදී බඩු කොට ද, එක් වර්ගයක බඩුවක් අන්‍ය වර්ගයක බඩුවක් කොට ද, රාත්තලක් නො වන දෙය රාත්තලක් කොට ද, සේරුවක් නො වන දෙය සේරුවක් කොට ද, දක්වා බඩු මිලයට ගන්නවුන් රවටති. කම්කරුවෝ ද තම තමා සාදන බඩු ගැන එසේ රැවටිලි කරති. එසේ කෛරාටික කමින් රවටා බඩු විකුණා මුදල් ගැනීම අදත්තාදාන කර්මයට ඇතුළත් වන පාපයකි. එසේ කෛරාටික කම් කරන වෙළෙන්දා ළඟට බඩු ගැනීමට එන්නන් අඩු වීමෙන් ද රවටනු ලැබූවන්ගේ පළිගැනීම්වලට භාජන වීමෙන් ද මෙලොව පිරිහීමට ද පැමිණෙන්නේ ය. මරණින් මතු අපායට ද පැමිණෙයි. පෙර එක් කපටි වෙළෙන්දෙක් වී වලට වීබොල් මිශ්‍ර‍කොට විකුණමින් මුදල් සපයා මරණින් මතු ගිනියම් වූ වී බොල් සියතින් ම ගෙන සිය හිස මත ලා ගනිමින් දුක් විඳින ප්‍රේතයකු වූ බව ප්‍රේත වස්තු ප්‍ර‍කරණයෙහි දක්වා තිබේ.

කෛරාටික බව ස්වර්ගයට යාමට ද සසර දුක් කෙටි කර ගැනුමට ද මහත් බාධාවකි. කෛරාටිකයාට සසර දික්වේ. සතර අපාය සිය නිවස වැනි වේ. ඔහු වරක් දෙකක් බණ අසා සිත්හි තබාගෙන පිළිපැදීම ම ඇතය, නැවත නැවත බණ අසන්නට ඕනෑ නැත. මල් පහන් පුදා විහාර කිලිටි නො කළාට සිතින් පමණක් නො ගියාට තමා සිටින තැන සිට ගෙන ම ඒ විහාර චෛත්‍යයන් සිහිකර වැඳිය හැකිය. සිල් සමාදන් වන්නට නො ගියාට තමාගේ ගෙදර ම සිත පිරිසිදු කරගෙන සිටියාම ඇත. එක මලක්, එක පහනක්, එක බත් සැන්දක් පිදීමෙන් ම දෙව්ලොව ඉපිද තිබෙනවා ය, ඕනෑවට වඩා පින් ඕනෑ නැත. පින් පව් නම් සිතිවිලිය. ධනය වියදම් කොට පින්කම් නො කළාට සිතින් දන්දීම් ආදි පින් කිරීම ඇත යනාදීන් කෛරාටික බණ කිය කියා කිසි පිනක් නො කොට මරණින් මතු අපායෙහි උපදනේ ය. එබැවින් මේ කෛරාටික බව නමැති චිත්තෝපක්ලේශය සිය සිත් සතන්වලට වැදෙන්නට නොදී සැම කල්හි ම සිත සෘජුව ම තබා දෙලොව වැඩ සිදුකර ගනිත්වා!

11. ථම්භෝ චිත්තස්ස උපක්කිලේසෝ

ථම්භ යනු කණුවට නමකි. කණුව වනාහි තද වූ නො නැමිය හැකි දෙයකි. එය නමන්නට උත්සාහ කළහොත් බි‍‍දෙනු මිස නො නැමේ. සිත්හි හටගන්නා වූ තද ගතියක් ද වේ. එය හටගත් කල්හි කණුවක් සේ ම සිත ද නො නැමෙන ස්වභාවයට පැමිණෙන බැවින් සිත්හි හටගන්නා ඒ තද ගතියට ද ථම්භ ය යි කියනු ලැබේ. එය හටගත් කල්හි සිත දරකඩක් මෙන් වෙයි. නො බබලයි. අඳුරු වෙයි එබැවින් එය චිත්තෝපක්ලේශයකි.

ථම්භ නම් වූ උපක්ලේශයෙන් සිත කිලිටි වූ කල්හි ඒ පුද්ගලයා කොතරම් අනර්ථ දායක වුවත් තමාට රුචි දෙයක් ම කරනු මිස ගරු කළ යුතු වූ නැමිය යුතු වූ මව්පිය ගුරුවරාදීන්ගේ වචනයට නො නැමෙයි. ඔවුන්ගේ වචන නො පිළිගනී. රාජ නීතියට හෝ ලෝක නීතියට යුක්තියට ධර්මයට නො නැමේ. යමකු ඔහු නමන්නට උත්සාහ කළහොත් හෙතෙමේ කෝප වෙයි. අවවාදයට කිපී පන්සල ද ගිනි ලා පලා ගිය මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයා මෙන් අවවාද දායකයාට විරුද්ධව ක්‍රියා කරයි.

පන්සල ගිනි තැබූ ගෝලයා.

මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ රජගහ නුවර නිසා පිප්ඵලී ගුහාවෙහි වැඩ වෙසෙන කල්හි උන් වහන්සේට කුඩා දෙනමක් උපස්ථාන කළෝ ය. ඉන් එක් නමක් මැනවින් වත් පිළිවෙත් කරයි. අනික් නම කෛරාටිකයෙකි. මනාකොට වත් පිළිවෙත් නො කරයි. පළමු කී කුඩා නම විසින් මුව දෝනා පැන් හා දැහැටි පිළිවෙල කර තැබූ කල්හි කෛරාටික ශිෂ්‍යයා තෙරුන් වහන්සේ වෙත ගොස් මුවදෝනා පැන් සැපයීම තමා කළාක් මෙන් හැගෙන්නට “ස්වාමීනි, මුව දෙවුව මැනැව”යි කියයි. වත් කරන ශිෂ්‍යයා විසින් පා සෝදන පැන් නාන පැන් පිළිවෙල කළ කල්හි ද කෛරාටිකයා එසේ ම කරන්නේ ය.

එක් දවසක් වත් කරන නම මේ කපටියාට හොඳ පාඩමක් උගන්වමියි සවස් කාලයෙහි ඔහු නිදන අතර තෙරුන් වහන්සේට නෑමට පැන් හුණු කොට ඒවා නාන කොටුව පිටිපස තබා පැන් හුණු කරන බඳුනෙහි නැළියක් පමණ පැන් තිබෙන්නට හැරියේ ය. කෛරාටික මහණ සවස නින්දෙන් නැඟිට බලනුයේ නාන කොටුවෙහි සැළියෙන් දුම් නගිනු දැක උණු පැන් පිළියෙල වී ඇතියයි සිතා වෙනදා පරිදි තෙරුන් වහන්සේ කරා ගොස් “ස්වාමීනි, නානු මැනව”යි කියා උන්වහන්සේ සමග ම නාන කොටුවට ගියේ ය. තෙරුන් වහන්සේ කොටුවට පිවිස පැන් නැත්තෙන් “පැන් කොහිදැ”යි විචාළහ.

එකල්හි කෛරාටික ශිෂ්‍යයා “මම පැන් උණු කරන ලද්දේ ය යි සිතා ආචාර්‍ය්‍යයන් වහන්සේට ඒ බව සැල කෙළෙමි. මේ දුෂ්ටයාගේ වැඩේ සැටි බලන්න. හිස් බඳුන ලිප මත තබා මොහු කොහි ගියේදැ”යි බණිමින් කළය ගෙන පැන් තොටට ගියේ ය. වත් කළ ශිෂ්‍යයා පිටුපස තිබූ හුණු පැන් ගෙනැවිත් නාන කොටුවෙහි තැබීය. එකල්හි තෙරුන් වහන්සේ “මේ නම මට නාන්නට වඩිනු මැනවයි කියා මා මෙහි කැඳවාගෙන අවුත් දැන් කළය ගෙන පැන් තොටට යන්නේ ය. මේ කිමෙක්දෝ”යි ආවර්ජනා කරන්නාහු මෙතෙක් කල් මේ නම විසින් කළ වත් තමා කළාක් මෙන් දක්වා වඤ්චා කරමින් සිටි බව දැන සවස් කාලයෙහි ඒ තැනැත්තා කැඳවා “ඇවැත්නි, ශ්‍ර‍මණයන් විසින් මෙබඳු කපටිකම් නො කළ යුතුය”යි අවවාද කළ සේක. හෙතෙම තෙරුන් වහන්සේගේ ක්‍රියාව බලන්න, වතුර ටිකක් නිසා මට මෙසේ කියන්නාහයි කිපී දෙවන දවස්හි තෙරුන් වහන්සේ හා පිඬු සිඟා නො ගියේය. තෙරුන් වහන්සේ වත් කළ කුඩා නම හා එක් ප්‍රදේශයකට පිඬු සිඟා වැඩි සේක. අනික් නම තෙරුන් වහන්සේගේ එක් දායක ගෙයකට ගියේ ය.

එහිදී තෙරුන් වහන්සේ ගැන ඇසූ කල, අසනීප වී විහාරයෙහි ම වැඩ සිටින බව කීය. එහි මිනිසුන් විසින් “තෙරුන් වහන්සේට වුවමනා කුමක්දැ”යි ඇසූ කල්හි මෙබඳු ආහාරයක් ය යි කීය. ඔවුහු කී පරිදි ආහාර සපයා තෙරුන් වහන්සේට ගොස් වළඳවනු මැනවයි කියා ඒ කුඩා නමට දුන්හ. කුඩා නම එය මඟදී ම වළඳා පාත්‍ර‍ය සෝදා ගෙන පන්සලට ගියේය. තෙරුන් වහන්සේ ද පිඬු සිඟා වැඩි ප්‍රදේශයේ දී විශාල වස්ත්‍ර‍ක් ලැබ තමා කැටුව ගිය කුඩා නමට දුන්හ. තෙරුන් වහන්සේ දෙවන දවස වත් නොකරන කුඩා නම තෙරුන් වහන්සේ අසනීප බව කියා ආහාර ලබාගත් දායක ගෙට වැඩියෝ ය.

එහි සිටියෝ “ස්වාමීනි, නුඹ වහන්සේ අසනීප ව සිටින බව අසා අපි ඊයේ කුඩානම අත ආහාර යැවීමු. එයින් නුඹ වහන්සේට පහසු වූ සේක්දැ”යි කීහු. තෙරුන් වහන්සේ ඒ ගැන කිසිවක් නො වදාරා විහාරයට පැමිණ කුඩා නම අමතා “ඇවැත්නි, ගිහියන්ගෙන් ආහාර ඉල්වා ගැනීම ශ්‍ර‍මණයන්ට නො වටනේය. මතු එසේ නො කරව”යි අවවාද කළ සේක. එකල්හි කුඩා නම අතිශයින් ම කිපී මේ තෙරුන් වහන්සේ වතුර ටිකක් නිසා වරක් මා බොරුකාරයකු කළෝය. වස්ත්‍ර‍ය ද මට නොදී අනිත් නමට දුන්නාහ. දැන් ආහාර ස්වල්පයක් නිසා ද මට පීඩා කරන්නාහ. මීට කළමනා දනිමියි සිතා පසුදින තෙරුන් වහන්සේ පිඬු සිඟා වැඩි කල්හි පන්සලෙහි තුබුණු ගිනි නො ගන්නා බඩු සියල්ල මුගුරකින් ගසා පොඩිකර දමා පන්සලට ද ගිනි තබා පලා ගියේ ය. පසු ව ඔහු මැරී ඒ පාපයෙන් අවීචි මහා නරකයේ උපන්නේ ය.

මේ කුඩා නමට මහත් වූ අපකීර්තියට පැමිණීමට හා ගුරුවරයාගෙන් හා වාසස්ථානයෙන් පහවීමට ද නරකයෙහි ඉපදීමට ද හේතු වූයේ ඔහුගේ සිත කිලිටි කරගෙන පැවැත්නා වූ කෛරාටික භාවය හා ථම්භ නම් වූ අවවාදයට නො නැමෙන ස්වභාවය යි. ථම්භය හේතුකොට කිලිටි ව දිරූ දරකඩක් සේ රළු බවට පැමිණියා වූ නො නැමෙන සිත් ඇත්තා වූ ඇතැම් අසත්පුරුෂයන් මෙසේ හිතාධ්‍යාශයෙන් අවවාද කරන උතුමන්ට කරදර කරන නමුත් සත්පුරුෂයෝ ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ මෙන් ඉතා ආදරයෙන් අවවාද පිළිගන්නාහුය.

දිනක් දම්සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේගේ සිවුරු කොනක් එල්ලෙමින් තිබුණේ ය. සිවුරු වනාහි කතුරකින් මට්ටමට කපන ලද්දක් මෙන් කොන් නොඑල්ලෙන සේ මට්ටමට හැඳ පෙරවිය යුතුය. සැරියුත් මහ තෙරුන් වහන්සේගේ සිවුරු කොන එල්ලෙනු දුටු සත් හැවිරිදි සාමණේර නමක් උන්වහන්සේට ඒ බව දැනුම් දින. උන්වහන්සේ මේ බුද්ධශාසනයෙහි බුදුන්ට පමණක් දෙවෙනි පුද්ගලයා වුව ද කිසිදු කථාවක් නො කොට සුදුසු තැනකට ගොස් මනා කොට සිවුරු හැඳ පොරොවා අවුත් කුඩා සාමණේර නම සමීපයෙහි සිට බොහෝ කලකින් අවවාද දායකයකු ලදිමියි සාමණේරයන්ට ස්තුති කොට, -

“තදහු පබ්බජිතෝ සන්තො

ජාතියා සත්තවස්සිකො

සෝපි මං අනුසාසෙය්‍ය

සම්පටිච්ඡාමි මත්ථකේ”

යනුවෙන් “එදවසම පැවිදි වූ සත් හැවිරිදි සාමණේර නමක් මට අනුශාසනා කෙළේ ද, එය මම මුදුනෙහි තබා පිළිගනිමි”යි වදාළ සේක. අවවාදානුශාසනා පිළිගැනුම සම්බන්ධයෙන් සියල්ලෝ ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ ආදර්ශයට ගනිත්වා!

අවවාද කිරීමට කිපී පන්සලත් ගිනි ලවා පලා ගිය ශ්‍ර‍මණයා වැනි අවවාද කරන්නවුන්ට කරදර කරන්නවුන් ඇතත්, අවවාද දායකයන් උතුම්කොට සලකන අවවාද පිළිගන්නා සත්පුරුෂයන් ද ලොව ඇති බැවින් අසත්පුරුෂයන්ගෙන් වන් කරදර නොසලකා පරානුශාසනය සත්පුරුෂයන් විසින් කළ යුතුමය.

“ඔවදෙය්‍යානුසාසෙය්‍ය - අසබ්භා ච නිවාරයෙ

සතං හි සෝ පියෝ හෝති - අසතං හෝති අප්පියෝ”

“පරහට වරද දුටු විට අවවාද කරන්නේ ය. වරදට පැමිණෙන්ට පෙර අනුශාසනා කරන්නේ ය. අන්‍යයන් පවින් වළක්වන්නේය. එසේ කරන තැනැත්තේ සත්පුරුෂයන්ට ප්‍රිය වන්නේය. අප්‍රිය වන්නේ අසත්පුරුෂයන්ටය” යනු එහි අදහසයි.

සිත දරදඬු කරන මේ ථම්භය සත්ත්වයාට මහානර්ථකරය. ථම්භයෙන් තද වූ සිත් ඇති, කිසිවකට නොනැමෙන පුද්ගලයාට ලොව වැඩි කලක් ජීවත් වන්නට පවා නො හැකි වේ. රාජනීති ලෝකනීති, ධර්මනීති වලට පිටුපා ක්‍රියා කිරීමෙන් රාජදණ්ඩනයට හෝ රෝගාදී අන්තරායයන්ට හෝ පැමිණීමෙන් ඔහුගේ මරණය හෝ ඉක්මණින් විය හැකි ය. අසර්වඥ වූවෙක් මට වරදින්නේ නැත යයි සිතා නම් එය මුලාවකි. අසර්වඥ වූවෙක් මට වරදින්නේ නැත යයි සිතා නම් එය මුලාවකි. ඒ මුලාව වනුයේ ථම්භයෙන් සිත කිලිටි වීමෙනි. සර්වඥ නොවූ පණ්ඩිත අපණ්ඩිත උගත් නූගත් බාල මහලු දුප්පත් පොහොසත් හැම දෙනාට ම වරදින්නේ ය. ඔවුන්ගේ ඇති වෙනස නම් පණ්ඩිතයාට වඩා අපණ්ඩිතයාට ද, උගතාට වඩා නූගතාට ද, මහල්ලාට වඩා බාලයාට ද වැරදීමේ වැඩි බව පමණෙකි. වඩා වරදින තැනැත්තන් විසින් වැරදීම් අඩු තැනැත්තන්ගේ අවවාද අනුශාසනයන් පිළිගත යුතු ය.

තමාගේ වරද තමාට පෙනෙතත් පෙනෙන්නේ වැරදුණාට පසුව ය. තමාට නො පෙනෙන මුහුණෙහි කැළැල් පර හට පහසුවෙන් පෙනෙන්නාක් මෙන් තමාගේ වරද අනුන්ට පහසුවෙන් පෙනේ. නොයෙක් විට පණ්ඩිතයාට නොපෙනෙන පණ්ඩිතයාගේ වැරදි අපණ්ඩිතයාට පෙනෙන්නේ ය. උගතාට නොපෙනෙන ඔහුගේ වැරදි නූගතාට ද පෙනෙන්නේය. මහල්ලාට නො පෙනෙන ඔහුගේ වැරදි බාලයාට ද පෙනෙන්නේ ය. එබැවින් පණ්ඩිතයෝ ද, උගත්තු ද, වැඩිමහල්ලෝ ද, අපණ්ඩිතයන්ගෙන් ද, නූගතුන්ගෙන් ද, වයසින් බලායන්ගෙන් ද අනුශාසනා ලැබීමට නුසුදුස්සෝ නො වෙති. කවරකුගෙන් වුවත් ලැබෙන අවවාදයක් අනුශාසනයක් ඇත්නම් අනුශාසනා කරන්නා අපණ්ඩිතය, නූගත්ය, බාලය කියා එය ප්‍ර‍තික්ෂේප කිරීමට ඉක්මන් නො විය යුතුය. කවුරු කියන දේ ගැනත් සලකා බැලිය යුතුය. උතුමන්ගේ අවවාදවලට පිටුපා ක්‍රියා කොට විනාශ වූවෝ බොහෝ ය. එසේ ම උතුමන්ගේ අවවාදයට කීකරුවීමෙන් යස ඉසුරට පැමිණියෝ ය බොහෝ ය. එබැවින් තමහට වැඩ කැමති සියල්ලෝ ම ථම්භය දුරලා සිත පිරිසිදු කර ගෙන මව්පිය ගුරුවරාදි නැමිය යුත්තන්ට හා ඔවුන්ගේ අවවාදානුශාසනයන්ට කීකරු වී දෙලෝ වැඩ සිදු කර ගනිත්වා!

12. සාරම්භෝ චිත්තස්ස උපක්කිලේසෝ

අනුන් කරන දේවල් බලා ඒ ඒ දේවල් ඒවාට වැඩියෙන් කරනු කැමති බව සාරම්භ නම් වේ. මෙය කුශල සාරම්භය ය, අකුශල සාරම්භය යි දෙවැදෑරුම් වේ. එයින් චිත්තෝපක්ලේශය වනුයේ අකුශල සාරම්භය යි. එය බොහෝ සෙයින් හට ගනුයේ අනුන්ගේ සම්පත් සම්බන්ධයෙන් හා අනුන් විසින් තමාට කළ වරදවල් සම්බන්ධයෙනි.

අනුන් ගේ ඇඳුම් පැළඳුම්, කෑම් බීම්, යාන වාහන, ගෙවල් දොරවල් ආදිය බලා ඒවාට වඩා හොඳිනුත් වැඩියෙනුත් ඒ ඒ දේ කර ගනු කැමති බව සැප සම්පත් සම්බන්ධයෙන් හටගන්නා වූ සාරම්භය යි. මෙය අද ලොව පුරා පැතිර පවත්නා වූ පාප ධර්මයකි. මෙයින් කිලිටි වූ සිත් ඇති තැනැත්තාට තමාගේ තත්ත්වය තමාගේ වත්කම නො පෙනේ. ඔහු තමාගේ ඇඳුමට සම වූ හෝ වඩා යහපත් වූ හෝ ඇඳුමක් පැළඳුමක් අනෙකකු අඳිනු පළඳිනු දැක, කොයි ලෙසකින් වුවත් ඊට වඩා හොඳ ඇඳුම් පැළඳුම් තමා හඳින්නට පළඳින්නට සිතයි. අනුන්ගේ කෑම් බීම් යාන වාහන ගෙවල් දොරවල් ආදිය දුටු කල්හි ද එසේ ම සිතයි. සිතා එයට උත්සාහ කරයි. මෙයින් ඇතැම්හු අධික දිළිඳු බවට පත්වෙති. ණය වී ඇතැමකු ගේ වාසය කරන ගෙය පවා විකිණී යයි.

මේ සාරම්භය නිසා අද මුලුලොව ම මහත් දුකට පත්වී තිබේ. පෙර විසූ මනුෂ්‍යයෝ පහසුවෙන් තැනිය හැකි පරිදි ගෙවල් සාදාගෙන, තරමකට ඇඳුම් පැළඳුම් හැඳ පැළඳගෙන, අධික ගෘහ භාණ්ඩ ද නැතිව, කලට ගොවිතැන් කරගෙන ජීවත් වූහ. ඒ කාලයේ මිනිසුන්ට ප්‍රීතියෙන් වාසය කිරීමට බොහෝ විවේක කාලය තිබුණේය. ඔවුහු කල පැමිණි කල්හි කෙත් වතුවල වැඩ කොට ධාන්‍ය රැස් කරගත් පසු නැවත ගොවිකම් කරන කාලය පැමිණෙන තුරු සුවසේ විසූහ. සාරම්භය නිසා මනුෂ්‍යයන් අතර නානාප්‍ර‍කාර ඇඳුම් පැළඳුම් පහළ වූහ. නානාප්‍ර‍කාර බොහෝ පරිභෝග භාණ්ඩ පහළ වූහ.

සාරම්භය නිසා කොපමණ වියදම් වැඩි වුවත් කෙනකු කරන දෙය බලා අනෙකා ද එසේ හෝ එයටත් වැඩියෙන් හෝ කරන්නට යාමෙන් මනුෂ්‍යයන්ට නොයෙක් ආකාර ඇඳුම් පැළඳුම් අඳින්නට පළඳින්නට ද, නොයෙක් ආකාර ගෙවල් සාදන්නට ද, නොයෙක් බඩු පරිභෝග කරන්නට ද පුරුදු විය. එයින් අද සිටින මනුෂ්‍යයාට විවේකයක් නොගෙන අවුරුද්ද මුළුල්ලේ ම වැඩ කොට ද තමාගේ ඕනෑකම්වලින් විස්සෙන් තිහෙන් පංගුවක්වත් ඉටු කර ගන්නට නුපුළුවන් වී තිබේ. සමහර විට පියා තනන්නට පටන් ගත් ගෙයි වැඩ දරුවන් විසින් වත් නො නිමවිය හැකි වේ. මෙය මනුෂ්‍යයන්ට කොපමණ කරදරයක් ද? මේ කරදරය නිසා වර්තමාන මනුෂ්‍යයාට මැරෙන මොහොත දක්වා ම කිසි ම අවකාශයක් නො ලැබේ.

පෙර විසූ බොහෝ මනුෂ්‍යයෝ තමා සපයන ධනය වියදම් කොට පරලොව සැපය පිණිස නිති දන් දුන්හ. බොහෝ විහාරාරාමයන් කරවූහ. අනේපිඬු මහසිටාණෝ සිව්පනස් කෙළක් ධනය වියදම් කොට ජේතවනාරාම මහා විහාරය කරවා, සිය නිවසෙහි ද දිනපතා දහසක් භික්ෂූන්ට දන් දුන්හ. විශාඛාවෝ සත්විසි කෙළක් ධනය වියදම් කොට පූර්වාරාම මහා විහාරය කරවා, සිය නිවසෙහි දිනපතා දහසක් භික්ෂූන්ට දන් දුන්හ. එකල විසූ තවත් බොහෝ පොහොසත්තු ද සියගණන් භික්ෂූන්ට දන් දුන්හ. ඇතැමෙක් දුගී මගී යාචකාදීන්ට දන්සැල් තනවා නිසි දන් දුන්හ. දුප්පත්තු ද තමා ගේ වත්කමේ සැටියට දන් පින් කළෝ ය.

සාරම්භයෙන් මඩනා ලද සිත් ඇත්තා වූ මෙකල ඇතැම්හු එක මඟුලක් කෑ කල්හි එයට ධනය මඳ වී රටට ද ණය වෙති. ඔවුන්ට පිනකට වියදම් කිරීමට ධනය කෙසේ ඉතිරි වේද? නොවේ ම ය. පෙර විසූ මනුෂ්‍යයෝ පොහෝ දිනයන්හි කර්මාන්ත නවත්වා සිල් සමාදන් වූහ. මේ සාරම්භය නිසා දැනට සිටින මනුෂ්‍යයන්ට පොහොය දින සිල් සමාදන් වන්නට තබා විහාරයකට ගොස් මල් පහන් පුදන්නට, බණ ටිකක් අසන්නට තරමට වත් නිවාඩුවක් නැත. කරුණු මෙසේ හෙයින් වර්තමාන මනුෂ්‍යයා පරලොවක් ඇති බවක් ද කල්පනා නො කොට ධනය ම සොයමින් සිට, ලද මනුෂ්‍යාත්ම භාවයෙන් ලැබිය හැකි නියම ප්‍රයෝජනය නො ලබා මරණින් මතු අපායට යන්නේ ය.

අනුන් තම හට කළ වරද සම්බන්ධයෙන් හටගන්නා වූ සාරම්භය නම්, අනුන් අතින් සුළු වරදක් මුත් තමහට වුවහොත් එයට දෙතුන් ගුණයකින් හත් අට ගුණයකින් සිය ගුණයකින් වැඩි කොට පිළිගන්නා ස්වභාවය යි. ඒ සාරම්භයෙන් යුක්ත වූ තැනැත්තා අනිකකු තමාට විරුද්ධ ව එක වචනයක් කී කල්හි ඔහුට වචන හත අටක් හෝ සියගණනක් හේ කියා බණී. නො එසේ නම් ගැසීම හෝ ඔහු අයත් වස්තු නැසීම හෝ කරයි. අනෙකකුගෙන් තමාට සුළු අලාභයක් වූ කල්හි ඔහුට මහත් අලාභ කරයි. මෙසේ පළිගැනීම සඳහා එකිනෙකා නැවත නැවත වැඩි කොට එකිනෙකාගේ දේපලට හානි කර ගැනීමෙන් සමහරු පෙර ධනවත් ව සිට ද දිළිඳු බවට පැමිණෙති. ඇතැමෙක් මේ සාරම්භය නිසා වචනයක් ගැන හෝ කොස් ගෙඩියක් පොල් ගෙඩියක් වැනි සුළු දෙයක් ගැන හෝ ඇන කොටා ගෙන මරණයට ද පැමිණෙති. එබැවින් මේ සාරම්භය මහානර්ථකරය.

ප්‍ර‍ධානයන් විසින් කරන පව් කම් බලා මේවා ඔවුන්ට හොඳ නම් අපටත් හොඳ යයි ගෙන පව් කරන ස්වභාවයක් සමහරුන්ට තිබේ. ඒ ස්වභාවය ඇත්තා වූ පැවිද්දෝ ඇතැම් නො මනා ක්‍රියා අසවල් නායක හාමුදුරුවන්ට හොඳ නම් අසවල් පණ්ඩිත හාමුදුරුවන්ට හොඳ නම් අසවල් සිල්වත් හාමුදුරුවන්ට හොඳ නම් අපට නරක මොකදැ යි කියමින් අනුන් කරන නිසා තමා ද කරති. ගිහියෝ ද පරදාර සේවනය මද්‍යපානාදි පාපයන් අසවල් මැතිතුමාට හොඳ නම් අසවල් පඬිතුමාට හොඳ නම් අපට නරක මොකදැ යි කියමින් අනුන් කරන නිසා කරති. මෙය ද කරණුත්තරියකරණයක් නො වූයේ ද සාරම්භයෙහි සංග්‍ර‍හ කොට ගත යුතු උපක්ලේශයකි.

වරද නම් කවරකු කළත් වරද ම ය. යම් කිසි වරදක් පණ්ඩිතයෙක, සිල්වතෙක, ගුණවතෙක, ප්‍ර‍ධානයෙක කියා සිටින යම් කිසිවකු විසින් කළ පමණට නිවරද යයි ගැනීම අනුවණ කමකි. යම්කිසි පාපයක් අනිකකු කරන නිසා තමා විසිනුත් කළ යුතු යයි ගැනීම ද එබඳු ම අනුවණ කමෙකි. එබැවින් තම තමාගේ වැඩ කැමැත්තෝ අනුන් ගේ කැරුම් නොබලා තමා ගේ ශුද්ධිය ම බලත්වා!

කුශල පක්ෂයෙහි වනාහි මේ කාරණයෙන් අනුන් පහත් කොට මම උසස් වෙමි ය යන අදහසින් තොරව, ශුද්ධ ශ්‍ර‍ද්ධාධ්‍යාශයෙන් කෙනකු මසකට එක් දිනක් දන් දෙන කල්හි මසකට එක් දිනක් දන්දීම ප්‍ර‍මාණ නො වේය. දින බොහෝ ගණනක් දන් දිය යුතුයයි, සලකා තමා මසකට දෙතුන් දිනක් දන් දෙන්නට අදහස් කිරීමය, කෙනකු මසකට එක් පොහොහක සිල් සමාදන් වන කල්හි එය මඳය යි සලකා පෝය දෙකකට හෝ සතරට ම හෝ සිල් සමාදන් වන්නට අදහස් කිරීමය, කෙනකු පිනට දහසක් වියදම් කරන කල්හි, එය මඳ යයි තමා දෙතුන් දහසක් හත් අට දහසක් වියදම් කොට පින් කරන්නට සිතීම යනාදිය කරුණුත්තරියකරණයට සිතීමක් වුව ද එය චිත්තෝපක්ලේශ සාරම්භය නොවේ. පින් කිරීම ගැන වුව ද අනුන් පහත් කොට තමා උසස් වන අදහසින් සිතීම චිත්තෝපක්ලේශ සාරම්භය ම ය. එය පාපයක් වුවත් ඒ නිසා කරන පින පිනක් ම මිස පවක් නොවේ. එබැවින් සාරම්භය නිසා වුව ද පින් කිරීම යහපති. සාරම්භයෙන් තොර ව පින් කිරීම වඩා යහපති. පින් නො කර හැරීම ම හානියකි. කොයි ලෙසකින් වුවත් පින් කළ හොත් ඒ තැනැත්තාට එයින් වැඩක් ම වන්නේ ය. අවැඩක් නො වන්නේ ය.

13. මානෝ චිත්තස්ස උපක්කිලේසෝ.

ජාතිය, කුලය, නාමය, ධනය, රූපය, පිරිවර, කීර්තිය, ශිල්පය ශාස්ත්‍ර‍ය යනාදියෙන් තමා අන්‍යයන්ට උසස්ය කියා හෝ අන්‍යයන් හා සමය කියා හෝ තමා විසින් ම තමා කොඩියක් මෙන් ද, කොතක් මෙන් ද, උසස් කොට ගන්නා ස්වභාවය උඩඟුකම ද, ජාති කුල නාමාදියෙන් තමා අන්‍යයන්ට හීන ය යි මිරිකෙන ස්වභාවය වූ ලජ්ජාව ද යන මේ දෙක මාන නම් වේ. මේ ලජ්ජාව හිරි ඔත්තප්ප යන ලෝකපාලක ධර්මයන්ට අයත් ලජ්ජාව නොවේ. එය පාපයක් නො වේ. මෙය පාපයෙකි. මානය සිත්හි හටගත් කල්හි පුද්ගලයාට තමාගේ තත්ත්වය ඇති සැටියට නොපෙනෙන සේ සිත අඳුරු වෙයි. ඔහු උමතු වූවකු මෙන් ක්‍රියා කරයි. එබැවින් මානය උමතු බව මෙන් දත යුතු යයි ද කියා තිබේ. මානයේ ප්‍රභේද බොහෝ ය. එයින් ස්වල්පයක් පමණක් මෙහි දක්වනු ලැබේ.

සෙය්‍ය මානය, සදිස මානය, හීන මානය යි මානය තෙවැදෑරුම් වේ. එහි ජාත්‍යාදියෙන් තමා උසස් යයි උපදනා උඩඟු බව සෙය්‍යමානය නම් වේ. ජාත්‍යාදියෙන් තමා ද අන්‍යයන් හා සම යයි ගෙන උපදනා උඩඟු බව සදිසමානය යි. මේ දෙයාකාර වූ මානය තමා කොඩියක් සේ කොතක් සේ උසස් කොට ගන්නේ ය. ඒ දෙයාකාර මානයෙන් කිලිටි වූ සිත් ඇත්තෝ ගරු කළ යුත්තන්ට ගරු කරන්නට ද, ගරු කළ යුත්තන්ගේ වචනවලට ඇහුම්කන් දෙන්නට ද, නැමිය යුත්තන්ට නැමෙන්නට ද, යටත් විය යුත්තන්ට යටත් වන්නට ද කැමති නො වන්නාහ.

තමා ජාත්‍යාදියෙන් හීන යයි ගෙන ඇති වන්නා වූ ලජ්ජාව හෙවත් උඩඟු කම හීන මාන නම් වේ. හීන මානයට ඒ මානය ඇත්තෝ ලජ්ජාව යයි කියති. අන්‍යයෝ එයට උඩඟුකම යයි ද කියති. කෙනෙක් අනෙකකුට යම්කිසි කෙනකු හමුවීමට යන්නට කථා කරයි. ඔහු තමා ගේ ඇඳුම දෙස බලා මේ ඇඳුම ඇඳ යන්නට ලජ්ජා වෙමි යි කියයි. ඔහු මෙ තන්හි ලජ්ජාව යයි කියන්නේ හීන මානය ගැනය. ඒ සම්බන්ධ ව අනෙකා කියතහොත් කියනුයේ උඩඟුකම නිසා ඔහු ඇඳුම නරක යයි නො ආවේය කියාය. එසේ කීමෙහි දී දෙවැන්න උඩඟුකම යයි කියනුයේ අනෙකකට නොව පළමුවෙනියා කී ලජ්ජාවට ම ය.

මෙසේ ලෝකයෙහි එක ම හීනමානයට ලජ්ජාවය, උඩඟුකමය යන වචන දෙක ම ව්‍යවහාර වන බව පෙනේ. වඩා ව්‍යවහාර වනුයේ ලජ්ජාවය යන වචනය යි. ලජ්ජාව උතුම් ගුණයක් කොට ආගම ධර්මයෙහි වර්ණනා කරන ධර්මයකි. නමුත් ඒ වර්ණනා කරන ලජ්ජාව මේ හීන මාන ලජ්ජාව නොව පව් කිරීම ගැන පවත්නා වූ ලජ්ජාව ය. මේ දෙක්හි වෙනස නොදත්තෝ හීන මාන ලජ්ජාව වූ අගුණය ම ගුණයක් සේ රැවටී සිටිති. හීන මාන ලජ්ජාව ගුණයක් නොව අගුණයකි. දුරු කරගත යුත්තකි. ලෝක පාලක ධර්මයක් වූ නියම ලජ්ජාව වර්තමාන මනුෂ්‍යයන් කෙරෙහි ඇතිවනුයේ කලාතුරකිනි. ඔවුන් තුළ ලජ්ජාව යයි නිතරම ඇති වනුයේ මේ හීන මානය ම ය. හීන මානය නිසා මිනිසුන් කරන නො මනා ක්‍රියා බොහෝ ය.

ඇතැමෙක් හීනය යි සිතා තමා ගේ කුලය සඟවති. ඔවුනට කුලය ගැන කථා කිරීම තරම් නුරුස්නා දෙයක් නැත. ඇතැමෙක් පරපුරෙන් පැවත එන්නා වූ ද, මව්පියන් විසින් තබන ලද්දා වූද, තමාගේ නියම නම් සඟවා අමුතු නම් ආරූඪ කර ගනිති. ඇතැමෙක් තිබෙන නම මඳ යයි එයට තම් නම් ඈඳා ගනිති. හතර පස් දෙනකුගේ නම් එක් කොට එක් කෙනකුට ව්‍යවහාර කරති. සමහරු අනුන්ට අල්ලස් පවා දී පේළි තුන හතර දික් වූ නම් ගම් ගනිති. මෙය වඩාත් කරනුයේ භික්ෂූන් විසිනි. නමක ඇති ප්‍රයෝජනය නම් ව්‍යවහාර පහසුවයි. නිකම් ම මිනිසා යයි කිවහොත් එයින් කෙනකු වෙන් කොට නො හැඳිනෙන බැවින් එක් එක් මිනිසකුට වෙන් වූ නමක් තබනු ලැබේ. ඒ නම කීමෙන් ඕනෑ කරන පුද්ගලයා පහසුවෙන් හඳුනාගත හැකි වේ. එබැවින් සෑම දෙනාට ම ව්‍යවහාරයට ගත හැකි නමක් තිබිය යුතු ය.

පේළි ගණනක් දික් වූ නමක් වුවහොත් එය ව්‍යවහාර කළ හැකි නමක් නොවේ. එබඳු නම් දීමත් ගැනීමත් යන දෙකම විහිළුවකි. ශ්‍රී සුගත සද්ධර්ම සේනාපති වාදීභසිංහ ගණාචාර්‍ය්‍ය ශ්‍රී සද්ධර්මවංශ නායක හාමුදුරුවනේ! මේ කොහි වඩනා ගමනක්දැ යි අසත හොත් කොපමණ විහිළුවක් ද? මානය උමතු බවක් වැනි යයි අර්ථකථාචාර්‍ය්‍යයන් විසින් කියන ලද්දේ මෙබඳු කරුණු නිසාය. ඇතැමෙක් හීන මානය නිසා ඇඳුම් පිට ඇඳුම් අඳිති. ඇතැමෙක් හිසකේ සායම් කරති. ඇතැමෙක් රක්ෂාව සඟවති. ලැබෙන පඩිය සඟවති. නෑකම් සඟවති. නෑකම් ආරූඪ කර ගනිති. ඉංග්‍රීසි පිස්සුව සෑදී තිබෙන ඇතැම්හු සිංහල තාලයේ සිටින තමා ගේ මව්පියන් පවා සඟවති. නගරයේ කන්තෝරුවල කලිසමින් සැරසී ඉංග්‍රීසියෙන් කතා කරන පුතා වෙත සිංහල තාලයට වැඩ කරන මව හෝ පියා හෝ ගිය හොත් වහා පිටත් කරයි. මේ ආදි නොයෙක් නො මනා ක්‍රියාවන්ට මේ හීන මානය හේතු වේ.

ඇතැමකු හට ධනාදීන් ගේ හීනත්වය නිසා තද අහංකාර ගතියක් ද තද උඩඟු බවක් ද ඇති වේ. එනම් මට ඇති වස්තුවක් නැත. රක්ෂාවකුදු නැත. උපකාරක නෑයකු මිත්‍ර‍යකු ද නැත. එබැවින් මට දිනුමත් එකය, පරාදයත් එක ය. ගෙදරත් එක ය, සිරගෙයත් එක ය, ජීවත්වීමත් එක ය, මරණයත් එකම ය. මම කුමට අනෙකකුට අවනත වෙම් ද, යටත් වෙම් ද? කියා හටගන්නා අහංකාරය යි. මෙය ද හීන මානයට ඇතුළත් වන මානයකි.

තවද මානය යාථාව මානය. අයාථාව මානය යි දෙවැදෑරුම් වේ. සත්‍ය වශයෙන් ඇත්තා වූ උසස් බව හෝ සම බව හෝ පහත් බව හෝ නිසා උපදනා මානය යාථාව මාන නම් වේ. නැති ව සිතා ගන්නා වූ ආරූඪ කර ගන්නා වූ උසස් බව නිසා ද, සම බව නිසා ද, හීන බව නිසා ද, උපදනා මානය අයාථාව මාන නම් වේ. යට කී සෙය්‍ය, සදිස, හීන යන මාන තුනෙන් එක එකක් යාථාව මාන, අයාථාව මානය යි දෙකකට බෙදෙන බැවින් යාථාව සෙය්‍ය මානය, අයාථාව සෙය්‍ය මානය, යාථාව සදිස මානය, අයාථාව සදිස මානය, යාථාව හීන මානය, අයාථාව හීන මානය යි සවැදෑරුම් ද වේ. ඇත්ත වශයෙන් ඇත්තා වූ උසස් බව නිසා උපදින්නා වූ මානය යාථාව සෙය්‍ය මානය යි. ඇත්ත වශයෙන් නැත්තා වූ ආරූඪ කර ගත්තා වූ උසස් කම නිසා උපදනා මානය අයාථාව සෙය්‍ය මානය යි. ඇත්ත වශයෙන්ම ඇත්තා වූ සම බව නිසා උපදනා වූ මානය යාථාව සදිස මානය යි. සම බවක් නැතිව සමය යි සිතා ගැනීමෙන් උපදනා මානය අයාථාව සදිස මානය යි. ඇත්ත වශයෙන් හීනත්වයක් ඇතිව උපදනා හීන මානය යාථාව හීන මානය යි. හීන බවක් නැතිව හීනය යි සලකා ගැනීමෙන් උපදනා මානය අයාථාව හීන මානය යි.

මේ සෑම මානයක් ම අනර්ථකරය. නමුත් යාථාව මානය සමහර විටෙක අර්ථයට ද හේතු වන්නේ ය. ඇත්ත වශයෙන් උසස් වූ තැනැත්තාට ඒ සෙය්‍ය මානය නිසා මාගේ උසස් තත්ත්වය මා විසින් ආරක්ෂා කර ගත යුතුය. ගෞරවය ආරක්ෂා කරගත යුතුය. මා විසින් මාගේ තත්ත්වයට නුසුදුසු නොමනා දේ නො කළ යුතුය. යහපත් වැඩ කළ යුතුය යන අදහස පහළ වේ. හීන වූ තැනැත්තාට ද ඒ හීන මානය නිසා සමහර විට මා විසින් හීන බවට හේතු වන නො මනා වැඩ හළ යුතුය. උසස් වීමට හේත ුවන දේ කළ යුතුය යන යහපත් අදහස පහළ වේ. මෙසේ යාථාව මානය ඒ ඒ පුද්ගලයාගේ අර්ථයට ද හේතු වේ.

අයාථාව මානය මහානර්ථකරය. උසස් කමක් නැතිව ම තමා අන්‍යයන්ට උසස් ය යන ආයාථාව සෙය්‍යමානය ඇති කර ගත් තැනැත්තේ සිටින තත්ත්වයෙනුත් තවත් පහළට ම වැටෙනු මිස උසස් නොවේ.

ඇතැම්හු නැති උසස්කම් සිතට ගෙන පුහු මානයෙන් උඩඟුව මහ දනිසුරන්ට අනුව ගෙවල් සෑදවීමට ද, යාන වාහන පාවිච්චියට ද, හැඳීමට පැළඳීමට ද, කෑමට බීමට ද, උත්සව පැවැත්වීමට ද ගොස් අන්තිමේ දී ණය වී වාසය කරන ගෙට පවා අහිමි වෙති.

ඇතැමෙක් පුහු මානය නිසා තමාගේ උගත්කම් වියත්කම්වල සැටියට තමාට ලැබිය හැකි, තමා විසින් කළ හැකි රක්ෂාවල් තමාගේ උසස් තත්ත්වයට නොගැලපේ යයි සිතා නොකර හැර, උසස් රක්ෂාවල් පතමින් තිබෙන දෙයත් විකුණමින් කල් යවා අන්තිමේදී වාසය කළ ගෙයටත් අහිමි ව මගට බසිති.

ඇතැමෙක් මට වඩා උසස් කෙනකුන් නැත. මා නො දත් දෙයකුත් නැත. මගේ දැනීම පමණ යහපත් දැනුමක් අන් කවරකුටවත් නැත. මාගේ වැඩ අන් සියල්ලට ම වඩා යහපත්ය. මාගේ පැවැත්ම ද මාගේ ඇඳුම් පැළඳුම් ආදි වස්තු ද, අන් සියල්ලට ද වඩා යහපත්ය යි පුහු මානය ඇති කර ගෙන දියුණුවේ මාර්ගය වසා ගෙන සිට අන්තිමේදී පරාධීන වෙති.

අයාථාව හීනමානය ද මෙසේ ම අනර්ථ කරය. සත්‍ය වශයෙන් ම තමාගේ යම්කිසි හීනත්වයක් තිබේ නම් එය නැතිකර ගැනීමට එයට ප්‍ර‍තිකර්ම කළ යුතුය. තමාගේ තත්ත්වයට සුදුසු වූ ම තමාගේ ඇඳුම් පැළඳුම් යාන වාහන ගෙවල් ආදිය නුසුදුසුය, ඒ කාරණයෙන් තමා හීනය යි වරදවා මානය ඇති කර ගත්තෝ ඒවා උසස් කරන්නට ගොස් පිරිහීමට පැමිණ, සිටි තත්ත්වයෙන් ද පහළට වැටෙති. වර්තමාන සිංහලයා හීන මානය නිසා මහා ප්‍රපාතයට ඇද වැටී සිටී. ඔහු තමාගේ භාෂාව හීන යයි ගෙන එය හැර පරභාෂාවකින් කථා කරයි. තමාගේ ජාතික ඇඳුම හීන යයි විදේශිකයන්ගේ ඇඳුම් හඳී. තමාගේ සිරිත් හීන යයි පරසිරිත් අනුව හැසිරෙයි. ඔහුට තමාගේ රටේ උපදවා ගත හැකි ආහාර පානාදි සෑම දෙයක් ම හීන යයි මානය හටගන්නා බැවින් දිනෙන් දින ම සිංහලයා පහල වැටෙන්නේ ය. තමාටත් තමා අයත් දේවලටත් අවඥා කර ගන්නා මිනිසුන් සිංහලයන් අතර පමණ අන්‍ය මනුෂ්‍යවර්ගයක් අතර ඇති බව අසන්නට නැත.

මේ සත්ත්වයන්ට මානය නිසා වනුයේ මෙලොව පිරිහීම පමණක් නොවේ. එය මරණින් මතු සත්ත්වයා අපායට පැමිණ වීමට ද සමර්ථ වූ පාපයකි. එබැවින් මානය හේතු කොට සත්ත්වයා මරණින් මතු නරකාදි සතර අපායට ද පැමිණෙන්නේ ය. ඒ මානය උතුමන්ට ගරු නො කිරීම් අවමන් කිරීම් ආදී නොයෙක් පව් කම් වලට ද හේතු වන්නේය. මානය අධික වූ තැනැත්තාට ඒ මානය නිසා නොයෙක් පව්කම් ද කොට මරණින් මතු අපායෙහි ඉපිද දීර්ඝ කාලයක් කටුක දුක් විඳින්නට ද සිදුවන්නේ ය. එබැවින් තම තමාගේ දෙලොව වැඩ කැමැත්තෝ මහානර්ථකර වූ මානය දුරු කර ගනිත්වා!

14. අතිමානෝ චිත්තස්ස උපක්කිලේසෝ

අනුන් පහත් කොට තමා විසින් කොඩියක් සේ කොතත් සේ උසස් කොට ගන්නා වූ මානය අතිමාන නම් වේ. එය සිත්හි හට ගත් කල්හි සත්ත්වයා හට තමාගේ තත්ත්වය හා අනුන්ගේ තත්ත්වය නො වැටහෙන පරිද්දෙන් සිත අඳුරු වේ. එබැවින් එය චිත්තෝපක්ලේශයකි. මේ අතිමානය සාමාන්‍ය මානයට වඩා අතිශයින් අනර්ථදායකය.

අනුන් පහත් කොට ගන්නා වූ අතිමානි පුද්ගලයා විශේෂයෙන් ලොවට අප්‍රිය පුද්ගලයෙක් වේ. අන් සෑම දෙන ම පහත්ය, තමා ම උසස් ය යන අතිමානී පුද්ගලයාගේ හැඟීම අන්‍යයන් ද එසේ ම පිළිගන්නක් නම් යහපති. නුමුත් කිසිවෙක් එය නො පිළිගනිති. අන්‍යයන් නො පිළිගන්නා වූ තමා පමණක් ප්‍ර‍කාශ කරන්නා වූ උසස් කම නිකම් ම විහිළුවකි. එක් කෙනෙක් වූ අතිමානී පුද්ගලයකු විසින් අනුන් පහත් යයි කරන්නා වූ අවඥාව ලක්ෂ සංඛ්‍යාත ජන සමූහයකට බෙදී යන බැවින් එයින් එක් කෙනකුට පැමිණෙන්නේ සුළු කොටසකි. ඒ ලක්ෂ සංඛ්‍යාත ජන සමූහයට අයත් සෑම දෙනා විසින් ම මොහු උඩඟු පුද්ගලයකැ යි කරන ලක්ෂ සංඛ්‍යාත අවඥාවෝ අතිමානයාගේ විපාකයක් වශයෙන් ඉහාත්මයෙහි ම ඒ පුද්ගලයා කරා පැමිණෙන්නාහ. එබැවින් අවඥා ලැබීමට නම් අතිමානය ඉතා යහපත් දෙයක් බව කිව යුතුය. අනුන්ගේ කරුණාවට මෛත්‍රියට ගරුබුහුමනයට භාජනය වීමට නම් ඒ අතිමානය දුරුකොට සමානාත්මතා ගුණය ඇති කර ගත යුතුය.

අතිමානී පුද්ගලයෝ ගරු කළ යුත්තන්ට ගරු නො කිරීමෙනුත් යටත් විය යුත්තන්ට යටත් නොවීමෙනුත්, ගුරූපදේශ ගත යුත්තන්ගෙන් ගුරූපදේශ නො ගැනීමෙනුත්, මිත්‍ර‍ විය යුත්තන් හා මිත්‍ර‍ නො වීමෙනුත්, පහත් අයට හිමි වැඩය යි නොයෙක් දේ නො කර හැරීමෙනුත්, පැමිණිය හැකි දියුණුවෙන් ද පිරිහෙති. පැමිණ සිටි තත්ත්වයෙන් ද පිරිහෙති. අවමන් කිරීම නිසා කෝප වූවන්ගෙන් ද නොයෙක් නොයෙක් ගැහැට ලබති. අවමානයෙන් කෝපයට පත් ඇතැම්හු අධික මානීන්ට නොයෙක් දඬුවම් කරති. ඔවුන්ගේ වස්තුව පැහැර ගත හැකි තන්හි පැහැර ගනිති. විනාශ කළ හැකි තන්හි විනාශ කරති. අධික කෝපයට පත් ඇතැම්හු අතිමානීන්ගේ ජීවිත පවා නසති.

සමහර අතිමානී පුද්ගලයන්හට අතිමානය නිසා ම පිරිහීමට පැමිණ, චණ්ඩාලයා ගෙන් ඉඳුල් බත් ඉල්ලා කන්නට සිදුවූ “සතධම්ම” නම් බ්‍රාහ්මණ තරුණයාට මෙන් තමා පළමු පහත් යයි අවමන් කරමින් සිටියවුන් යටතට පැමිණෙන්නටත් ඔවුන්ට ම දණ ගසන්නටත් සිදුවේ.

සතධම්මගේ කථාව

එක් කලෙක මහා බෝසතාණෝ සැඩොල් කුලයක ඉපද තරුණ වයස පැමිණියාහු යම් කිසි කරුණකින් දුර පළාතකට යනු පිණිස මඟ වියදමට සහල් හා බත් මුලක් ද ගෙන මඟට බැස ගමන් කළහ. බරණැස් නුවර බ්‍රාහ්මණ මහාසාල කුලයක උපන් සතධම්ම නම් තරුණයෙක් ද යම් කිසි කරුණකින් ඒ මඟ ගමන් කළේය. ඔහු අත මඟ වියදම් නො තිබුණේ ය. මොවුන් දෙදෙනා මාර්ගයේ දී එක් වූහ. සතධම්ම බෝසතාණන් ගෙන් ජාතිය ඇසීය. බෝසතාණෝ ද ඔහුට තමා චණ්ඩාල බව නො සඟවා කීය. සතධම්මගේ ජාතිය ඇසූ කල්හි ඔහු බ්‍රාහ්මණ බව කීය. ඉක්බිති දෙදෙන ම එක මඟ ගමන් ගත්හ. බෝසතාණෝ දවල් බත් වෙලාව පැමිණි කල්හි ජලය ඇති තැනකදී අත් පා සෝදා බත්මුල ලිහා බ්‍රාහ්මණ මානවකයාට ද බත් අනුභව කරන්නය යි ගෞරවයෙන් කීහ. ජාති මානයෙන් උඩඟුව සිටි සතධම්ම, “බොල, චණ්ඩාලය, තගේ බතින් මට කවර ප්‍රයෝජනයක්දැ” යි කියා ප්‍ර‍තික්ෂේප කෙළේය.

බෝසතාණෝ බත ඉඳුල් නො කොට ඉන් කොටසක් අන් පතකට ගෙන, බත් මුල බැඳ තබා අනුභව කොට පැන් බී අත සෝදා බත්මුල හා සහල් ද ගෙන සතධම්මට ද කථා කොට, නැවතත් ගමන් පටන් ගත්හ. දෙදෙනා ම සවස් වන තුරු ගමන් කොට සවස් කාලයේ දී එක් තැනක හිඳ, නැවතත් බත්මුල ලිහා සතධම්මට කථා නො කර ම අනුභය කරන්නට වූහ. නිරාහාර ව දවස මුළුල්ලේ ම ගමන් කළා වූ සතධම්මට ද ඒ වේලාව වන විට නො ඉවසිය හැකි පමණට සාගින්න ඇති වී තිබුණේ ය. මිනිසාට සාගින්නට වඩා අන් මහත් දුකක් නැති තරම් ය. සාදුක නිවා ගැනීමට නො කළ හැකි දෙයක් නැත. මේ අවස්ථාවේ දී සතධම්මගේ අතිමානය සාගින්නෙන් හළු විය. ඔහු චණ්ඩාලයාගෙන් මුත් ලැබෙත හොත් බත් අනුභව කරමි යි බෝසත්තුමා වළඳනා දෙස බලා හුන්නේ ය.

බෝසතාණෝ ද ඔහු දෙස බැලීම් පමණවත් නො කොට බත් බුදිති. බෝසතාණෝ බත් බුදිනු බලා සිටිත් ම සතධම්මට නො ඉවසිය හැකි පමණට ආහාරාශාව ඇති විය. ඔහු තවත් පමා වුවහොත් මේ ඉඳුල් බත් ටික වත් නො ලැබෙන්නේ යයි සිතා බෝසත්තුමා ගෙන් බත් ඉල්ලීය. බෝසතාණෝ ද ඔහුට වළඳමින් සිටි බත දුන්හ. සතධම්ම ද මතුයෙහි වූ ඉඳුල් බත් කොට ඉවත් කොට ඉතිරි කොටස අනුභව කෙළේය. ඉක්බිති මම චණ්ඩාලයාගෙන් ඉඳුල් බත් ඉල්ලා කා මගේ ජාතියට නුසුදුසු දෙයක් කෙළෙමි යි ඔහුගේ සිත අතිශයින් තැවෙන්නට විය. බලවත් චිත්තසන්තාපය හේතුකොට, කෑ බත ලේ සමග ඔහුට වමනය විය. ඉක්බිති ඔහු තමාට සිදු වූ දෙය ගැන මහත් සේ වැළපී චණ්ඩාලයාගේ ඉඳුල් බත් කෑ මගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්දැ යි සිතා වනයට වැද අනාථව මළේ ය. සතධම්මට වල් වැදී දිවි නසා ගන්නට හේතු වූයේ ද ඔහුගේ අතිමානය ම ය. සතධම්ම මෙන් ම ලෝකයේ බොහෝ දෙන මේ අතිමානය නිසා අනේක ව්‍යසනයනට පැමිණෙන්නාහුය.

බුදුන් කලැ විසූ “තෝදෙය්‍ය” නම් බමුණා අතිමානයෙන් මත් ව බුදුනට පවා අගරු කරමින් සිට, මිය ගොස් ඒ ගෙයි ම බලු ව උපන්නේ ය. තෝදෙය්‍ය මෙන් ම මානය ඇත්තෝ මරණින් මතු ද අපාගත වෙති. අපායෙන් මිදී මිනිස් ලොවට පැමිණියාහු ද ගරු බුහුමන් ලබන්නා වූ උසස් කුලවල නූපදිති. සැම දෙනාගේ ම අවමානයට භාජනය වන චණ්ඩාලාදී නීච කුලවල ඔවුහු උපදිති. එබැවින් තථාගතයන් වහන්සේ විසින් තෝදෙය්‍යගේ පුතු වූ සුභ මානවකයාහට මෙසේ පවසන ලදි.

“ඉධ පන මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා ථද්ධො හොති අතිමානි, අභිවාදෙතබ්බං නාභිවාදෙති, පච්චුට්ඨාතබ්බං න පච්චුට්ඨෙති, ආසනාරහස්ස න ආසනං දෙති. මග්ගාරහස්ස න මග්ගං දෙති. සක්කාතබ්බං නං සක්කරොති, ගරුකාතබ්බං න ගරු කරොති, මානෙතබ්බං න මානෙති. පූජෙතබ්බං න පූජෙති, සො තෙන කම්මේන එවං සමන්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස බෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. සවෙ මනුස්සත්තං ආගච්ඡති. යත්ථ යත්ථ පච්ඡාජායති, නීචකුලීනො හොති”

මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තද වූයේ ද, ඉතා උඩඟු වූයේ ද, වැඳිය යුත්තාට නො වඳීද, දැක හුනස්නෙන් නැඟී සිටිය යුත්තාහට හුනස්නෙන් නො නැඟී සිටී ද, තමා වෙත පැමිණි කල්හි අස්නක් දිය යුත්තාට අස්නක් නො දේ ද, තමා මාර්ගයෙන් පහ වී ඉඩ දිය යුත්තාට මාර්ගය ඉඩ නො දේ ද, සත්කාර කළ යුත්තාට සත්කාර නො කෙරේ ද, ගරු කළ යුත්තාට ගරු නො කෙරේ ද, බුහුමන් කළ යුත්තාට බුහුමන් නො කෙරේ ද, පිදිය යුත්තාට නො පුදා දා, හෙතෙමේ මෙසේ සම්පූර්ණ කරන ලද්දා වූ මෙසේ ගන්නා ලද්දා වූ ඒ කර්මයෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇත්තා වූ විවස ව පතිත වන්නා වූ නරකයෙහි උපදී. යම් හේතුවකින් නරකයෙහි නූපදී නම්, ඉදින් මිනිස් බවට ඒ නම්, යම් යම් තැනෙක උපදී නම් නීච කුල ඇත්තේ වේය” යනු එයි භාවයයි.

මතු ජාතිවල සුගතියෙහි ඉපිද සැප ලැබීමටත් දුක් නො විඳීමටත්, සසර දුකින් මිදී නිවනට පැමිණීමටත් කළ යුතු එක ම දෙය නම් පින ම ය. උනුන් පරයා ලොකු ගෙවල් සෑදවීමෙන්වත් වඩ වඩා අලංකාරයෙන් සැරසීමෙන් වත්, නම් දිග්ගැස්සීමෙන් වත් අනාගත භවයන්හි කිසිදු සැපයක් ලැබිය හැකි නො වේ.

මාන, අතිමානයෙන් පිනට බාධක වන සැටි.

මානාතිමානයෝ වනාහි පින් කිරීමට ද බාධක ධර්ම දෙකකි. ඇතැමෙක් මානය නිසා පාවහන් ගලවන්නට නො කැමැත්තෙන්, බිම වාඩි වන්නට නො කැමැත්තෙන්, විහාරස්ථානවලට පවා නො යති. ඇතැමෙක් අන්‍යයන් හා සම ව හිඳ ගන්නට නො කැමැත්තෙන්, බිම හිඳ ගන්නට නො කැමැත්තෙන් බණ අසන්නට නො යති. ඇතැමෙක් අන්‍යයන් හා සමග හිඳගනු නො කැමැත්තෙන්, සුදුවත් හැඳ පෙරවීමට නො කැමැත්තෙන් සිල් සමාදන් වන්නට නො යති.

ඇතැමෙක් ඔය පන්සල දුප්පතුන් දායකකම් කරන දුප්පතුන් යනෙන තැනක් ය, පහත් මිනිසුන්ගේ පිටිපසින් අපට සිටිය නො හැකිය කියා ඇතැම් විහාරස්ථානයකට නො එළඹෙති. ඇතැමෙක් පන්සල කුඩා ය, දුප්පත් ය, ඕවා අපට යන්නට සුදුසු තැන් නො වේය යි කියා සමහර විහාරස්ථානයකට නො යති. ඇතැමෙක් ඔය පන්සල අසවල් කුලයේ මිනිසුන්ගේ පන්සලක් ය, අප ඔතැනට යන්නේ කෙසේ දැයි ඇතැම් විහාරස්ථානයකට නො යති. සමහරු ඔය පන්සලේ සිටින භික්ෂූන් වහන්සේලා අසවල් ජාතියේ යයි ඇතැම් විහාරස්ථානවලට නො යති.

ඇතැම්හු සිය නිවසට පිඬු සිඟා වැඩියා වූ භික්ෂුවට සියතින් ආහාරයක් පවා නො දෙති. වැඩකාරයකු අමාරුවෙන් වත් සොයා ගෙනවුත් පිණ්ඩපාතය බෙදවති. ඇතැමෙක් මවුපියන්ට ගරු සත්කාර නො කරති. නො වඳිති. වැඩකාරයන් ලවා මිස සියතින් කිසි ම වතක් පිළිවෙතක් නො කරති. ඇතැමෙක් පණ්ඩිත මානය නිසා බණ නො අසති. මේ ආදී කරුණු බලා මානය කොතරම් පින් කිරීමට බාධක දෙයක් ද යන බව දත යුතුය. පාපයක් වූද, නොයෙක් පාපයන්ට හේතු වූ ද, පිනට බාධකයක් වූ ද, මේ මානය වැඩ කැමැත්තෝ දුරු කර ගනිත්වා!

15. මදෝ චිත්තස්ස උපක්කිලේසෝ

අධික ව මත්පැන් පානය කළවුන්ට ඒ හේතුවෙන් බලවත් සිහි මුළාවක් සම්මෝහයක් උමතු ගතියක් පහළ වන්නේ ය. එයට මදය යි ද, මතය යි ද, වෙරි යයි ද කියනු ලැබේ. මත් වූ තැනැත්තා මත හේතු කොට ගෙන කළ යුතු දෑ නො කර පසු කරන්නේ ය. තමාට ද අන්‍යයන්ට ද අහිත වූ නොයෙක් නොමනා දෑ කරන්නේය. ජාතිය, ගෝත්‍ර‍ය, ආරෝග්‍ය, යෞවන බවය යනාදිය හේතු කොට ද සත්ත්වයන් ගේ සිත් සතන්හි එබඳු සම්මෝහයක් උමතු බවක් හටගන්නේ ය. එනම් බලවත් වූ ද, බලවත් මෝහයෙන් යුක්ත වූ ද මානය යි.

ඒ මානය හටගත් කල්හි සිත අතිශයින් අඳුරු වන්නේ ය. එබැවින් එයින් යුක්ත වූ සිත් ඇති පුද්ගලයා ද, මත්පැන් පානය කළ තැනැත්තා මෙන් ම මුළාවට පැමිණ, කළ යුතු දෑ නො කර පසු කරන්නේ ය. තමාට ද අන්‍යයන්ට ද අහිත වූ නොයෙක් නො මනා දෑ කරන්නේ ය. එබැවින් ඒ මානයට ද මදය යයි කියනු ලැබේ. සුරාමදය වනාහි පැය ගණනකින් හෝ දවසකින් හෝ සන්සි‍‍දෙන්නේ ය. මේ මාන මදය වනාහි එසේ පැය ගණනකින් දින ගණනකින් තබා වර්ෂ ගණනකිනුදු සන්සිදෙන්නේ නොවේ. සමහරවිට එය දිවි ඇති තාක් ම පවත්නේය. එබැවින් මේ මාන මදය සුරා මදයට වඩා නපුරු දෙයකි. භයානක දෙයකි. මදය සාමාන්‍යයෙන් එකක් වුවද ජාත්‍යාදි හේතූන් ගේ වශයෙන් එය අනේක ප්‍රභේද වන්නේ ය. විභංග ප්‍ර‍කරණයෙහි මද සත් විස්සක් ඇති බව වදාරා තිබේ.

ඒ මෙසේය:

ජාති මදො, ගොත්ත මදො, ආරොග්‍ය මදො, යොබ්බන මදො, ජීවිත මදො, ලාභ මදො, සක්කාර මදො, ගරුකාර මදො, පුරෙක්ඛාර මදො, පරිවාර මදො, භොග මදො, වණ්ණ මදො, සුත මදො, පටිභාන මදො, රත්තඤ්ඤුත මදො, පිණ්ඩපාතික මදො, අනවඤ්ඤාත මදො, ඉරියාපථ මදො, ඉද්ධි මදො, යස මදො, සීල මදො, ඣාන මදො, සිප්ප මදො, ආරොහ මදො, පරිණාහ මදො, සණ්ඨාන මදො, පාරිපූරි මදො.

1. ජාති මදො :

මාගේ ජාතිය ශ්‍රේෂ්ඨ ය, කිසි ම ජාතියකට දෙවෙනි නො වන්නේ ය, මම උතුම් ජාති ඇත්තෙමි, අන්‍යයෝ හීන ජාති ඇත්තෝ ය යි ජාතිය නිසා මත්වන ආකාරයෙන් හටගන්නා වූ මානය ජාතිමද නම් වේ.

2. ගොත්ත මදො:

එක් එක් ජාතියකට අයත් මිනිසුන්ගේ වෙන් වූ පරම්පරා ගෝත්‍ර‍ නමින් හඳුන්වනු ලබති. වර්තමාන ව්‍යවහාරයේ සැටියට ගෝත්‍ර‍වලටත් ජාතිය යයි කියනු ලැබේ. පෙළපත යයි ද කියනු ලැබේ. ඒ පෙළපත නිසා මම එසේ මෙසේ අවමන් කළ යුතු කෙනෙක් නො වෙමිය, අසවල් පෙළපතින් පැවත එන්නකු වෙමිය යනාදීන් මත්වන ආකාරයෙන් හටගන්නා වූ මානය ගොත්ත මද නම් වේ.

3. ආරෝග්‍ය මදො:

මට කිසි රෝගයක් නැත. අන්‍යයෝ නිතරම රෝගවලින් පෙළෙන කාලකණ්ණිහුය. සෙම්ප්‍ර‍තිශ්‍යාවක් පමණ රෝගයක් වත් මට සෑදෙන්නේ නැත යයි මත්වන ආකාරයෙන් පවත්නා වූ මානය ආරෝග්‍ය මද නම් වේ.

4. යොබ්බන මදො:

අන්‍යයෝ මහල්ලෝ ය. පැසුණු හිසකේ රැවුල් ආදිය නිසා පිළිකුල් කටයුත්තෝ ය. මම තරුණ වෙමි යයි යොවුන් බව නිසා මත්වන ආකාරයෙන් හටගන්නා වූ මානය යොබ්බන මද නම් වේ.

5. ජීවිත මදො:

බොහෝ සත්ත්වයෝ වහා පිපී පරවී නටුවෙන් ගිලිහි ගිලිහී වැටී යන මල් සේ මඳ ආයු ඇත්තෝ ය. මම දීර්ඝ කාලයක් ජීවත් වූවෙමි. දැනුදු ජීවත් වෙමි. මතු ද බොහෝ කලක් ජීවත් වන්නෙමි. අන්‍යයෝ ජීවත් වන්නාහු ද, දුකසේ ජීවත් වන බැවින් ඔවුන් ජීවත් නොවන්නවුන් වැනිය. මම වනාහී සුවසේ ද ජීවත්වෙමියි ජීවිතය නිසා මත් වන ආකාරයෙන් හටන්නා වූ මානය ජීවිත මද නම් වේ.

6. ලාභ මදො:

අන්‍යයෝ දුගියෝ ය. මට බොහෝ ආදායම් ඇත්තේ ය යි ලැබීම නිසා මත් වන ආකාරයෙන් හට ගන්නා වූ මානය ලාභ මද නම් වේ.

7. සක්කාර මදො:

මම මහා ජනයාගෙන් අනේක සත්කාර ලබමියි තමන්හට අනුන් කරන සත්කාර නිසා මත්වීම් වශයෙන් හටගන්නා වූ මානය සක්කාර මද නමි. මෙය වැසියන්ගෙන් ප්‍ර‍ණීත ආහාර පාන අගනා භාණ්ඩ පුද පඬුරු වශයෙන් ලබන්නා වූ මුදලිවරු, මුහන්දිරම්වරු ආදි නිලධාරීන්ට හා තවත් යම් යම් කරුණු නිසා පඬුරු ලබන්නා වූ අධිපතීන්ට ද, දායකයන් ගෙන් බොහෝ සත්කාර ලබන පැවිද්දන්ට ද උපදනා මානයකි.

8. ගරුකාර මදො:

අනුන් තමහට කරන ගරු බුහුමන් නිසා මත්වීම් වශයෙන් උපදනා මානය ගරුකාර මද නම් වේ. එය “අන් අධිපතීන්ට මිනිසුන් මඟ යන කල මගින්වත් ඉවත් වන්නේ නැත. මා දුටු කල ගෙවල සිටින මිනිසුන් පවා අසුන්වලින් නැඟිට මට ආචාර කරන්නාහ. යන යන තැන්වලදී මා මල් මාලා පළඳවා උත්සවයෙන් පිළිගනිති”යි යනාදීන් අනුන්ගෙන් ගරු බුහුමන් ලබන අධිපතීන්ට හා එසේම ගරු බුහුමන් ලබන පැවිද්දන්ට ද හටගන්නා මදයකි.

9. පුරෙක්ඛාර මදො:

යම් කිසි දුෂ්කර කාරණයක් පැමිණි කල්හි අන්‍යයෝ එය සිදු කර ගනු පිණිස මා ඉදිරිපත් කරන්නාහ. ගිය ගිය තැන මට මුල් පුටුව ම දෙන්නාහ. සැම බරපතල ප්‍ර‍ශ්නයක් ම මගෙන් ම විස‍දෙන්නේ යයි, අන්‍යයන් විසින් පෙරටු කර ගැනීම ප්‍ර‍ධානත්වයෙහි තබා ගැනීම නිසා මත් වන්නා වූ ආකාරයෙන් උපදනා මානය පුරෙක්ඛාර මද නම් වේ.

10. පරිවාර මදො:

සෙස්සෝ මඳ පිරිවර ඇත්තෝ ය. සමහර කෙනකුට තමා හා එක් ව ක්‍රියා කරන දෙතුන් දෙනකු පවා නැත. මට වනාහි ඕනෑ දෙයකට මිනිස්සු සිටිති ය, අන්‍යයන්ට සිටින දුබල මිනිසුන් මෙන් නොව ලෝකයා ගණන් ගන්නා වූ බොහෝ මිනිස්සු ද මට ඇති ය යි පිරිවර නිසා මත් වීම් ආකාරයෙන් උපදනා මානය පරිවාර මද නම් වේ.

11. භෝග මදො:

අන්‍යයන්ට තමාගේ ජීවිතය ගෙන යෑමට සෑහෙන පමණ වත් ධනය නැත. සමහරුන්ට සෙට දවසට වියදමවත් නැත. මට රැස් ව තිබෙන ධනය බොහෝ ය. පරම්පරා ගණනකට වුව ද සෑහෙන්නේ ය යි රැස්ව තිබෙන ධනය නිසා මත් වන ආකාරයෙන් හටගන්නා මානය භෝග මද නම් වේ.

12. වණ්ණ මදො:

අන්‍යයෝ විරූප වූවෝ ය. බලන්නට පවා කැත ශරීර ඇත්තෝ ය. මම වනාහී පැහැයෙන් ද හැඩ හුරු කමින් ද දැකුම් කටයුතු වූ දුටුවන් සිත් පින වන්නා වූ රූපය ඇත්තෙමි යි රූපය නිසා හට ගන්නා වූ ද, ලොව කොපමණ උගතුන් සිටියත් ඔවුන් ගැන කථා කරන කෙනකුන් පවා නැත. ඇත්නම් ඔවුන් ගේ අගුණ කියන්නන් පමණය. මාගේ ගුණය වනාහි සෑම තැනම වර්ණනා කරන්නාහ. මාගේ නම නො දත් කෙනෙක් නැත යයි ගුණය සහ වර්ණය නිසා හට ගන්නා වූ ද, මත්වන්නා වූ ද, මානය වණ්ණ මද නම් වේ.

13. සුත මදො:

අන්‍යයන් උගතුන්ය කියා සිටියත් ඔවුන් දන්නා දෙයක් නැත. මා වැනි උගතෙක් තවත් ඇත්තේ නැතය යි උගත්කම නිසා මත්වන ආකාරයෙන් හට ගන්නා වූ මානය සුත මද නම් වේ.

14. පටිභාන මදො:

සෙස්සන් උගතුන් වුව ද ඔවුනට කාරණාකාරණ වැටහෙන නුවණ නැත. එබැවින් කරුණක් පැමිණි කල්හි පැනයක් විචාළ කල්හි ඔවුහු දුර්මුඛ වන්නාහ. අසමත්කම නිසා කෝපය හෝ පහළ කරන්නාහ. මම වනාහි කාරණාකාරණ වහා වැටහෙන නුවණ ඇත්තෙමියි වැටහීම නිසා මත් වන්නා වූ මානය පටිභාන මද නම් වේ.

15. රත්තඤ්ඤු මදො:

අද ඊයේ මෙලොව එළිය දුටු මොවුහු පැරණි තොරතුරු කිසිවක් නො දන්නෝ ය. මම වනාහි මොවුන් ගේ මව්පියන් උපදින්නටත් පෙර පටන් සිටින්නෙක්මි. රාජ වංශ ග්‍රාම වංශාදි නොයෙක් පැරණි තොරතුරු දනිමි යි පැරණි බව හා පැරණි පුවත් දන්නා බව නිසා මත්වීම් වශයෙන් හටගන්නා මානය රත්තඤ්ඤු මද නම් වේ.

16. පිණ්ඩපාත මදො:

අන්‍ය භික්ෂූහු දායකයන් ගෙනෙන දානය බලාගෙන ම විහාරවල ම සිටින්නාහු ය. පිඬු සිඟා යතත් යන්නේ කලාතුරකින් ය. ඒත් දායකයන්ගෙන් නො ලැබෙන නිසා ය. මම වනාහි සෑම කල්හි ම පිණ්ඩපාතයෙන් ම ජීවත් වෙමි යයි පිණ්ඩපාතික බව නිසා මත් වන්නා වූ ආකාරයෙන් හටගන්නා මානය පිණ්ඩපාතික මද නම් වේ. මෙය පැවිද්දන්හට උපදනා මානයකි.

17. අනවඤ්ඤාත මදො:

සෙස්සෝ නොයෙක් වර නොයෙක් දෙනාගෙන් නොයෙක් අවමන් ලබා තිබෙන්නෝ ය. මම වනාහි මේ වනතුරු කිසිවකුගෙන් අවමන් නොලදිමි. කිසිවෙක් මට තවම අවනම්බුවක් නො කළේ යයි අවනම්බු නො ලැබීම නිසා මත්වන ආකාරයෙන් උපදනා මානය අනවඤ්ඤාත මද නම් වේ.

18. ඉරියාපථ මදො:

අන්‍යයන් යන සැටි සිටින සැටි හිඳගන්නා සැටි නිදන සැටි අමනෝඥ ය. කැතය. මගේ ගමනාදි ඉරියව් පැවැත්වීම යහපත්ය ලක්ෂණය යි මත්වීම් වශයෙන් උපදනා මානය ඉරියාපථ මද නම් වේ.

19. ඉද්ධි මදො:

අන්‍යයෝ පියාපත් සුන් කවුඩන් වැන්නෝ ය. මම වනාහි මහානුභාව සම්පන්නයෙක්මි. අහසින් යෑම් ආදී කැමති දෙයක් කළ හැක්කේ වෙමි යයි සෘද්ධිමතුන්ට සෘධිය නිසා හටගන්නා වූ, අන්‍යයන් කරන්නට පටන් ගන්නා දේවල් බොහෝ සෙයින් ව්‍යර්ථ වන්නාහ, සිදු නොවන්නා හ, මා පටන් ගත් දෙයක් වේ නම් එය සිදුවන්නේ ය, මුදුන් පැමිණෙන්නේ ය යි සෙස්සන්ට හටගන්නා වූ ද මත්වන ආකාරය ඇති මානය ඉද්ධි මද නම් වේ.

20. යස මදො:

රටවලට, පළාත්වලට, නගරවලට, ගම්වලට, නිකායවලට, සමාගම්වලට, සේනාවට, කර්මාන්ත ශාලාදී ස්ථානයන්ට ප්‍ර‍ධානකම් කරන්නවුන්ට මම ප්‍ර‍ධාන වෙමි යි නායක වෙමියි කියා ප්‍ර‍ධාන බව නිසා මත්වන්නා වූ මානය යස මද නම් වේ.

21. සීල මදො:

අන්‍යයෝ දුශ්ශීලයෝ ය. නොයෙක් පව්කම් කරන්නෝ ය. මම සිල්වත් වෙමි, කිසි පාපයක් නො කරමි යි සිල්වත් බව නිසා මත්වන්නා වූ මානය සීලමද නම් වේ.

22. ඣාන මදො:

සෙස්සෝ වනයෙහි හැසිරෙන රිලවුන් සේ වික්ෂිප්ත සිත් ඇත්තෝ ය. මොහොතකුදු සිත එක අරමුණක පැවැත්වීමට අසමර්ථයෝ ය. මම උපචාර අර්පණා ධ්‍යානලාභී වෙමි. කැමැති තාක් කල් සෘද්ධියෙන් යුක්තව විසීමට සමර්ථ වෙමි යි ධ්‍යානලාභීන්ට ධ්‍යානය නිසා මත්වන ආකාරයෙන් හටගන්නා වූ මානය ඣාන මද නමි.

23. සිප්ප මදො:

අන්‍යයෝ කිසි ශිල්පයක් නො දන්නෝ ය. කිසි කර්මාන්තයක් කිරීමට අසමර්ථයෝ ය. මම නොයෙක් ශිල්ප දන්නෙමි. නොයෙක් දේ කිරීමට සමර්ථ වෙමියි ශිල්පය නිසා මත්වන්නා වූ මානය සිප්ප මද නම් වේ.

24. ආරෝහ මදො:

සෙස්සෝ මිට්ටෝ ය, ඔවුන් මා ඉදිරියෙහි ළමයින් වැන්නෝ ය. මට සරි කෙනෙක් නැත. මම අන් සැමට උස් වෙමියි උස්වීම නිසා මත් වන්නා වූ මානය ආරෝහ මද නමි.

25. පරිනාහ මදො:

ඇතැම්හු පමණට වඩා උස් වූවෝ ය. ඇතැම්හු මිට්ටෝය මම වනාහි නො උස් නො මිටි යහපත් ශරීර ඇත්තේ වෙමියි නො උස් නො මිටි බව නිසා මත්වන්නා වූ මානය පරිනාහ මද නමි.

26. සණ්ඨාන මදො:

අන්‍යයන්ගේ ශරීරවල සටහන හැඩහුරුකම අමනෝඥ ය. අවලක්ෂණය, මාගේ ශරීර සටහන යහපත්ය. දුටුවන් සිත් ගන්නේ යයි හැඩහුරුකම නිසා මත්වන්නා වූ මානය සණ්ඨාන මද නමි.

27. පාරිපුරි මදො:

අන්‍යයන්ගේ ශරීරවල හිසකේ, බැම, ඇස්, තොල්, දත් ආදී අවයවයන්ගේ නොයෙක් දොස් ඇත්තේය. මාගේ සකල ශරීරයෙහි කොතැනකවත් දැක්විය හැකි කිසි ම දෝසයක් නැත. මාගේ ශරීරය සර්ව සම්පූර්ණය යි සම්පූර්ණ බව නිසා මත්වන්නා වූ මානය පාරිපුරි මද නමි.

උදාර අදහස් ඇත්තා වූ පුද්ගලයෝ කිනම් සම්පතක් ලදත් කිනම් සම්පත්තියකට පැමිණියත් මත් නො වෙති. ලාමක අදහස් ඇත්තෝ යම් කිසි සම්පත්තියකට පැමිණි කල්හි එයින් මත් වෙති. මත් වන කරුණු සත්විස්සක් වුවත් මිනිසුන් බොහෝ සෙයින් මත් ව සිටිනු පෙනෙනුයේ ධනයය, තනතුරුය, පිරිවරය, උගත්කමය, තරුණ බවය, ශරීර ශක්තියය යන මේවායින් ය. ස්ත්‍රීහු රූපය නිසා බොහෝ සෙයින් මත් ව සිටිනු දක්නා ලැබෙති. පරම්පරාගත දිළිඳුව සිට හදිසියෙන් සම්පත් ලබා උසස් වූවෝ බොහෝ සෙයින් මත්වෙති. එයින් නොයෙක් විට ඔවුහු තමා ලැබුවා වූ පැමිණියා වූ සම්පත්තියෙන් ද පිරිහෙති. ඩෙබර ගෙඩි (කටු ගෙඩි) විකුණමින් සිට රාජදේවියක් වූ සුජාතාවගේ කථාව මෙයට හොඳ නිදසුනකි.

සුජාතාවගේ කතාව:

පෙර බරණැස් නුවර බ්‍ර‍හ්මදත්ත නම් රජෙක් විය. මහබෝසතාණෝ ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ මහාමාත්‍යයෝ වූහ. එක් දවසක් ඒ රජු කවුළුවක් සමීපයෙහි සිට මිදුල දෙස බලමින් සිටින කල්හි ඩෙබර වෙළෙඳකුගේ දුවක් වූ රූමත් තරුණියක් ඩෙබර ඵල පෙට්ටියක් හිස තබාගෙන “ඩෙබර, ඩෙබර” කියමින් රජමිදුලෙන් ගියාය. රජතුමා ඇය දැක ඇගේ හඬ අසා ඇය කෙරෙහි ආලය ඉපදී ඇගේ සස්වාමික අස්වාමික බව විමසා අස්වාමික බව දැන ඇය කැඳවා ඇයට මහත් යස ඉසුරුත් සමඟ අගමෙහෙසුන් තනතුර දුන්නේ ය.

ඕ රජතුමාට ඉතා ප්‍රිය වූවා ය. ඕ තොමෝ ද තමා පෙර සිහිනයකිනු දු නො ලැබූවිරූ මහත් සම්පත් ලැබීමෙන් මත් වූවාය. මෙකල සමහරුන්ට සිංහල අමතක වන්නාක් මෙන් ද, නෑයන් මිතුරන් අමතක වන්නාක් මෙන් ද, ඇයට ද තමා පෙර සිටි සැටි අමතක විය. දිනක් රජ්ජුරුවන් රන් තලියෙහි ලා ඩෙබර ඵල වළඳනා කල්හි යස ඉසුරෙන් මත් ව සිටින්නා වූ සුජාතා දේවිය රජ්ජුරුවන් සමීපයට ගොස් තමා ඩෙබර ගෙඩි නාඳුන්නියක මෙන් “මහ රජාණෙනි, අනේ! මේ නුඹ වහන්සේ වළඳන රතුපාට වටකුරු ගෙඩි ජාතිය මොනවාදැ”යි ඇසුවාය.

දීර්ඝ කාලයක් හිස මත තබා ඇවිද විකුණු ඩෙබර ගෙඩි නාඳුනන දෙයක් කොට කථා කිරීමෙන් රජතුමා කිපී කියනුයේ “දේවියනි, තී පෙර හිස තබා ඇවිදින පෙට්ටියට ගෙවීමෙන් මුඩු වූ හිස ඇති ව දිරූ කඩක් හැඳ වනයට වැද කෙක්කෙන් අතු පාත් කරමින් කඩ කඩා ඔඩොක්කුව පුරවා ගත්තාවූ යම් ගෙඩි ජාතියක් වේද, මේ තිගේ කුලයට අයත් වූ ඒ ගෙඩි ජාතිය ය” යි කීය. ඉක්බිති රජ ඇය ගෙදරින් නෙරපනු පිණිස කියනුයේ “මේ පව්කාර කෙල්ලට මේ රජ ගෙයි විසිය නො හැකිය, මෙහි වසන කල මේ කෙල්ලට දැවිල්ල සෑදෙන්නේ ය. මේ කාලකණ්ණි කෙල්ල පෙර විසූ ඩෙබර ඵල විකුට ජීවත් වන තැනට ම නැවත හැරලව”යි කීය.

‍ දේවියට නැවතත් ඩෙබර ගෙඩි විකුණන්නට යන්නට සිදු වූ මේ අවස්ථාවේ දී මහ බෝසතාණන් වහන්සේ රජ්ජුරුවන්ට කරුණු කියා ඇයට සමාව ලබා දුන්හ. නො එසේ වී නම් සුජාතාවට මත්වීමේ ඵලය එවෙලේ ම ලබන්නට තිබුණේ ය. මෙසේ අලුත් සම්පතට පැමිණියෝ බොහෝ සෙයින් ඒ සම්පත්තිය නිසා මත් වෙති.

හීන උත්පත්තිය ද සම්පත්තියට පැමිණි කල්හි මත් වීමට කරුණක් බව වාලෝදක ජාතකයෙහි දක්වා තිබේ. පරම්පරාගත සම්පත් ඇත්තෝ ද සර්වප්‍ර‍කාරයෙන් මත් නොවන්නාහු නො වෙති. ඔවුන් අතර ද බොහෝ දෙන මත් ව නො මනා දේ කොට තත්ත්වයෙන් පිරිහෙති. වෙහෙස නො වී අනුන් සැපයූ වස්තුව ඉබේ ම ලැබීමත් මත් වීමට කාරණයකි. මෙකල වෙසෙන පොහොසතුන්ගේ ධනය පරම්පරා දෙක තුනක්වත් නො පවත්නේ එහෙයිනි. අමාරුවෙන් ධනය සැපයූ පියා ධනයෙන් මත් නොවේ. පියා ගේ ඇවෑමෙන් ඒ ධනය වෙහෙසක් නැති ව නිකම් ම ලැබුවා වූ දරුවෝ ධන මදයෙන් මත් වෙති. එයින් ඔවුහු වැඩිකල් නො ගොස් ම දිළිඳු වෙති.

සාමාන්‍ය මානයටත් අතිමානයටත් වඩා මත්වන්නා වූ මානය ඉක්මණින් ම මනුෂ්‍යයා පිරිහීමට පමුණුවන දෙයකි. මානයෙන් මත් වූ කල්හි ඒ පුද්ගලයා ධර්මයත්, නීතියත්, යුක්තියත්, ගණනකට නො ගෙන පරම්පරානුයාත සිරිත්විරිත් ගණනකට නො ගෙන, උතුමන් ගේ නුවණැතියන් ගේ වැඩි මහල්ලන් ගේ, ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන් ගේ අවවාදානුශාසනයන් ගණන් නො ගෙන, ගරු කළ යුතු වූ ගණන් ගත යුතු වූ පුද්ගලයන් ගණනකට නො ගෙන, තමහට සිතෙන සිතෙන දේවල් ම කරන්නට වන්නේ ය. නොයෙක් පව් කම් ද කරන්නට වන්නේ ය. එයින් ඔහු සාමාන්‍ය මිනිසකු තබා රජකු වුව ද වහා පිරිහීමට පැමිණෙන්නේ ය. මරණයට හෝ පැමිණෙන්නේ ය. මානයෙන් මත් ව නො මනා ක්‍රියා කොට රාජ්‍යයෙන් පිරිහුණා වූ ද මරණයට පත් වූ ද රජවරු බොහෝ ය. මත්වීමෙන් රජවරු පවා පිරිහී යන කල්හි සෙස්සන් ගැන කියනුම කවරේ ද? මත් වූවෝ මෙ ලොව පිරිහීමෙන් පමණක් නො නැවතී මරණින් මතු ද අපායට යෙති. දෙලොව වැඩ කැමැත්තෝ මදය නැමැති මේ චිත්තෝපක්ලේශයට සිය සිත් සතන්හි පහළ වන්නට නො දී සිත ආරක්ෂා කරගනිත්වා!

16. පමාදො චිත්තස්ස උපක්කිලේසෝ

ගංගාවකට වැටුණා වූ වියලි ලබු ගෙඩියේ ස්වභාවය, යම් කිසි පුද්ගලයකු විසින් හෝ වස්තුවකින් පාවී යාම නො නැවැත්වුවහොත් සැඩ පහර ඇති තෙක් ම පා වීම ය. එසේ ම පෘථග්ජන චිත්තයේ ස්වභාවය ද සද්ධර්ම ශ්‍ර‍වණය, සත්පුරුෂ සේවනය, යෝනිසෝමනසිකාරාදියෙන් සිහිය උපදවා කුශල පක්ෂයෙහි නො පිහිට වුව හොත්, එතෙක් පඤ්චකාම විෂයෙහි හා ත්‍රිවිධ දුශ්චරිත විෂයෙහි පැවැත්ම ය. සද්ධර්මශ්‍ර‍වණ සත්පුරුෂ සේවනාදියෙන් සිත කුශල පක්ෂයෙහි නො පිහිටවා, නොපවත්වා, ස්වභාවයෙන් පවත්නා අන්දමට ම සිතට කාම විෂයෙහි පවතින්නට හැරීම “ප්‍ර‍මාදය”යි කියනු ලැබේ.

තවත් ක්‍ර‍මයකින් ප්‍ර‍මාදය මෙසේ දත යුතු. කුඩා මහත් ජාතිවල නැවත නැවත ඉපදෙමින් මැරෙමින් සසර සැරිසරන්නා වූ මේ සත්ත්ව සමූහයා වනාහි ඉපදීමය, නොයෙක් රෝග හටගැනීමය, නොයෙක් අන්තරායයන් සිදුවීම ය. ශරීරය දිරීමය, මරණය ය, ප්‍රිය පුද්ගලයන්ගෙන් හා ප්‍රිය වස්තූන්ගෙන් වෙන්වීමය, අප්‍රියයන් හා එක් වන්නට සිදුවීමය, ඕනෑ කරන දේවල් නො ලැබීමය, බලාපොරොත්තු සුන්වීමය, වරින් වර නරකාදි සතර අපායෙහි ඉපදීමය යනාදි මහා දුඃඛස්කන්ධයෙන් පටන් ගැනීම් වශයෙන් මුල් කොනක් දැක්විය නොහැකි වූ අති දීර්ඝ වූ අතීත කාලය මුළුල්ලෙහි පෙළනු ලැබූහ. දවනු ලැබූහ. ඔවුහු නිවනට නො පැමිණ සසර සැරිසරන්නාහු නම් අනාගතයේ ද ඒ මහා දුඃඛස්කන්ධයෙන් නැවත නැවත පෙළනු ලබන්නෝ ය. දවනු ලබන්නාහු ය. හඬවනු ලබන්නාහු ය.

මෙසේ මහා දුඃඛස්කන්ධයකින් තවනු ලබමින් සසර සැරිසරන්නා වූ පුද්ගලයා විසින් ඒ මහා දුඃඛයෙන් නිදහස් වනු සඳහා, කළ යුතු වූ දාන ශීලාදි පුණ්‍යයන් හිස ගිනි ගත්තකු විසින් අන් හැම දෙයකට ම පළමු ව, ඒ ගින්න නිවා ගැනීමට උත්සාහ කරන්නාක් මෙන් ඉතා ඕනෑ කමින් ඉතා සැලකිල්ලෙන් කළයුතු ය. නමුත් බොහෝ සත්ත්වයෝ තමා මහා දුඃඛස්කන්ධයකින් පෙලෙන බව නො සලකා මැරෙන බව නො සිතා, මතු උපදින බව නො සලකා, අජරාමර වූවන් සේ ඉතා දුකින් මිදීමට පිරිය යුතු ප්‍ර‍තිපත්ති පක්ෂය, පුණ්‍ය පක්ෂය අමතක කොට ප්‍ර‍ණීත දෑ කමින් බොමින් අලංකාර වස්ත්‍රාභරණයන් අඳිමින් පළඳිමින්, සැප එලවන්නා වූ අලංකාර මන්දිරයන්හි වෙසෙමින් අලංකාර ගෘහ භාණ්ඩයන් පරිභෝග කරමින්, අලංකාර යානවාහනවලින් ගමන් කරමින් ප්‍රිය ස්ත්‍රී පුරුෂ නගර ග්‍රාම නෘත්‍යය උත්සවාදීන් දර්ශනයෙන් නෙත් පිනවමින් ප්‍රියයන්ගෙන් ප්‍රියාවන්ගෙන් මිහිරි වදන් ආදියෙන් කන් පිනවමින්, සුගන්ධයන් කරණකොට නැහැය පිනවමින් අඹු දරුවන් සමග නෑයන් මිතුරන් සමග උත්සව ශ්‍රීයෙන් කල් යවති. ඒ සඳහා නොයෙක් දුශ්චරිතයන් ද කරති. ඒ සඳහා මහෝත්සාහයෙන් ධර්මයෙන් හෝ අධර්මයෙන් ධනය සපයති. දිළිඳුව සැප නො ලබා සිටින්නෝ රෑ දවල් දෙක්හි කම් සැප ලබනු සඳහා වීර්යය කරති. දුශ්චරිත ද කරති. මෙසේ හැසිරෙන්නා වූ සංසාර භය නො දක්නා වූ ඒ පුද්ගලයන් ගේ කම් සැප විඳීම් ආදී ක්‍රියා පටිපාටියට “ප්‍ර‍මාදය”ය යි කියනු ලැබේ.

තව ද සසර දුකින් මිදී නිවනට පැමිණෙනු කැමති සත්පුරුෂයන් විසින් සක්කච්චකිරියතා, සාතච්ච කිරියතා, අට්ඨිත කිරියතා යන තුන් ආකාර පින් කිරීමෙහි යෙදිය යුතු ය.

“සක්කච්චකිරියතා” යනු පින් කිරීමෙහි දී එයට ආදරයෙන් ගෞරවයෙන් ඕනෑකමින් කරන්නා වූ ස්වභාවය යි. දන් දීමෙහි දී දඩයකින් නිදහස් වීමට කොන්ත්‍රාත්තුවකින් නිදහස් වීමට යම් කිසිවක් කරන්නාක් මෙන් අනාදරයෙන් නොව ඉතා ආදරයෙන් පිරිසිදුව සුදුසු පරිද්දෙන් දාන වස්තුව, සූදානම් කොට ප්‍ර‍තිග්‍රාහකයාට ද ආදරයෙන් ගෞරවයෙන් ඒ දාන වස්තුව පිරිනැමීම දානය පිළිබඳ වූ සක්කච්චකිරියතාව ය. ශීලාදිය ගැන ද මේ නයින් සැලකිය යුතු.

“සාතච්ච කිරියතා” යනු කලක් පින් කොට අත්හැර නොදමා පින් කිරීමෙන් බලාපොරොත්තු වන්නා වූ නිර්වාණ සම්පත්තිය ලැබෙන තුරු එයට පැමිණෙන තුරු අත් නො හැර පින් කරන්නා වූ ස්වභාවය යි.

“අට්ඨිත කිරියතා” යනු මඳක් දුර ගොස් බොහෝ වේලා නැවතී සිට නැවතත් මඳක් දුර ගමන් කරන්නා වූ කටුස්සා ගේ ගමන මෙන් දවසක් පිනක් කොට නැවතත් වරක් මඳ පිනක් කිරීම් වශයෙන් නවත්ව නවත්වා නො ව නොනවත්වා ම පින් කර ගෙන යන ස්වභාවය යි.

සක්කච්ච කිරියතාදි තුනට විරුද්ධ වූ කුශලයන් පිළිබඳ වූ අසක්කච්ච කිරියතා, අසාතච්ච කිරියතා, අනට්ඨිත කිරියතා යන තුනට ප්‍ර‍මාදය යි කියනු ලැබේ. එහි “අසක්කච්ච කිරියතා” යනු පින්කරන කල්හි එය නො මනා කොට නො සලකා කරන ස්වභාවය යි. “අසාතච්ච කිරියතා” යනු අභිමතාර්ථය සිදුවන තෙක් නොකොට කලක් හැර අත්හැර දමන ස්වභාවයයි. “අනට්ඨිත කිරියතා” යනු කටුස්සා ගේ ගමන මෙන් කඩ කඩ කොට කරන ස්වභාවයයි.

ධර්ම වශයෙන් ප්‍ර‍මාදය යනු කුඩා වූ ද, මහත් වූ ද අකුශල ධර්ම සමූහය යි. හෙවත් අකුශල චිත්ත චෛතසික සමූහය යි. ප්‍ර‍මාද යයි කියන ලද ඒ අකුශල ධර්ම සමූහය යම් කිසිවකුගේ සන්තානයෙහි හටගත්තේ වේ නම්, ඒ සන්තානයෙහි ඉදිරියට ද තවත් බොහෝ අකුශල ධර්මයන් උපදවන්නේ ය. කුශල චිත්ත චෛතසිකයන් ගේ පහළ වීම වළක්වන්නේ ය. කුශල ක්‍රියාවක් ආරම්භ කෙළේ ද එය අතරකදී නවත්වන්නේ ය. උපන්නා වූ ඇතැම් කුශල් පිරිහෙවන්නේ ය. එහෙයින්, -

“නාහං භික්ඛවේ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වූ අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවේ! පමාදො, පමත්තස්ස භික්ඛවෙ! අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති” යනු වදාරන ලදි.

“මහණෙනි, යමකින්, නූපන්නා වූ ද අකුශල ධර්මයෝ උපදිත් ද, උපන්නා වූ ද කුශල ධර්මයෝ පිරිහෙත් ද, මහණෙනි! මේ ප්‍ර‍මාදය යම්බඳු ද එබඳු වූ අන් එක ධර්මයකුදු මම නො දක්නෙමි. මහණෙනි! ප්‍ර‍මාද වූවහට නූපන්නා වූ ද අකුශල ධර්මයෝ උපදිති. උපන්නා වූ ද කුශල ධර්මයෝ පිරිහෙත් ය.” යනු එහි තේරුම යි.

මෙසේ සත්ත්ව සන්තානයෙහි පළමුව උපන්නා වූ ප්‍ර‍මාද සංඛ්‍යාත අකුශල ධර්මයන් විසින් ඒ සන්තානයෙහි කිලිටි සිත් වූ එබඳු අකුශල චිත්තයන් බොහෝ ඉපදවීමෙන් චිත්තසන්තානය හෙවත් චිත්ත පරම්පරාව කිලිටි කරන බැවින් ප්‍ර‍මාදය චිත්තෝපක්ලේශයක් වේ. අකුශල චිත්තයන්හි වූ චෛතසිකයෝ වනාහි සම්ප්‍ර‍යුක්ත චිත්තය කෙලෙසන බැවින් ද චිත්තෝපක්ලේශයෝ වෙති.

සසර සැරිසරන්නා වූ සත්ත්වයන් විසින් තිරිසන් ව ඉපිද ලබන්නා වූ, පන පිටින් සිටියදී ම හඬව හඬවා ඇඟ මස් ඉරාකනු ලැබීම ය, කොටා කනු ලැබීම ය, ඇස් උපුටා ගනු ලැබීම ය, ගිලදමනු ලැබීම ය, කූඩුවල කොටුවල සිර කරනු ලැබීමය, තළ තළා වැඩ කරවනු ලැබීම ය යනාදි දුක් ද, ප්‍රේත ව ඉපිද ලබන්නා වූ අවුරුදු දහස් ගණන් මුළුල්ලෙහි ක්ෂුධායෙන් පිපාසයෙන් තැවීම් ආදී දුක් ද, නරකයෙහි ඉපද ලබන්නා වූ යමපලුන් විසින් ගිනියම් වූ යපොලොවෙහි පෙරළා කඩ කඩ කොට කපනු ලැබීම, ලොහොගුලි ගිල්වනු ලැබීම, ලොහොදිය පොවනු ලැබීම ආදී දරුණු දුක් ද තවත් ලෙව්හි ඇත්තා වූ යම් දුක් සමූහයක් වේ නම් ඒ සියල්ල ද, සත්ත්වයන් විසින් ලබන්නේ ඔවුන්ගේ ප්‍ර‍මාදය නිසාම ය.

“පමත්තස්ස හි නාම චත්තාරෝ අපාය සකගේහ සදිසා”

යනුවෙන් ප්‍ර‍මාද වන පුද්ගලයාට සතර අපාය සිය නිවස හා සමාන බව ද දක්වා තිබේ. මනුෂ්‍යයා පර ගෘහයක වාසය කරන්නේ කලාතුරකිනි. බොහෝ සෙයින් වාසය කරනනේ සිය නිවසෙහි ය. එමෙන් ප්‍ර‍මාද වන පුද්ගලයා ද බොහෝ සෙයින් වාසය කරන්නේ සතර අපායෙහි ය. සුගතියකට ඉපදීම් වශයෙන් පැමිණෙනුයේ කලාතුරකිනි. වාර සිය ගණනක් දහස් ගණනක් අපායෙහි ඉපදීමෙන් පසු වරකි. මනුෂ්‍යයා කොහි ගියත් සිය නිවසෙන් කොපමණ දුර ගියත් ජීවත් ව සිටිය හොත් නැවත සිය නිවසට එන්නේ ය. එපරිද්දෙන් ප්‍ර‍මාද පුද්ගලයා ඉපදීම් වශයෙන් කොහි ගියත් බ්‍ර‍හ්ම ලෝකයට ම ගියත් නැවත අපායට එන්නේ ම ය. ප්‍ර‍මාදවූවහුට සතර අපාය සිය නිවස වැනි වන්නේ එහෙයිනි.

කරුණු මෙසේ හෙයින් සත්ත්වයන්ට ප්‍ර‍මාදය මහා භයකි. අප්‍ර‍මාදය ඒ මහා භය දුරු කරන්නා වූ පිහිට ය. එබැවින් ප්‍ර‍මාදයෙහි භය භාවය, ආදීනවය හා අප්‍ර‍මාදයෙහි අගය දන්නා වූ නුවණැත්තෝ ප්‍ර‍මාදය දුරුකොට අප්‍ර‍මාදයෙහි යෙදීම් වශයෙන් නිති දන් දුන්නාහ. පඤ්චශීලාදි ශීලයන් රක්ෂා කළහ. එපමණකිනිදු නො නැවතී මහා ධනස්කන්ධයන් කෙළ පිඩු සේ හැර, ප්‍රිය වූ අඹුදරුවන් හැර පැවිදි වූහ. ප්‍ර‍මාදයට බිය වූ තේමිය කුමාරයෝ වැඩිවිය පැමිණි පසු රජකම් කරන්නට නො වනු පිණිස බාල කල පටන් නො ගොළුව ගොළුවකු මෙන් ද, නො බිහිරිව බිහිරකු මෙන් ද, නො කොරව කොරකු මෙන්ද, තරුණ විය පැමිණෙනතුරු සිට බොහෝ දුක් විඳ පැවිදි වූහ. පැවිදිව ද ශරීරයෙහි හා ජීවිතයෙහි ආලය හැර අරණ්‍යාදි සේනාසනයන්හි වෙසෙමින් ශ්‍ර‍මණ ධර්මය පිරූහ.

චක්ඛුපාල තෙරුන් වහන්සේ ඇස්රෝගයක් ද තිබිය දී ඒ ගැන නොසලකා වස්කාලය මුළුල්ලෙහි නොනිදා ම ශ්‍ර‍මණ ධර්මය පිරූ සේක. සෝණ තෙරුන් වහන්සේ පතුල් පැලී ලේ ගලද්දී ද සක්මන් කිරීම නො නවත්වා ශ්‍ර‍මණ ධර්මය පිරූ සේක. ප්‍ර‍මාදය දුරු කළා වූ ඒ නුවණැත්තෝ සංසාර සාගරයේ ගැලී සිටින ප්‍ර‍මාද වූ ජන සමූහය පසු කොට හැරපියා නිර්වාණක්ෂේම භූමියට පැමිණියෝ ය. ප්‍ර‍මාදය දුරු කරන තුරා සත්ත්වයන්ට දුකින් මිදිය හැකි නොවේ. එබැවින් මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානා රාත්‍රියේ දී අන්තිම අනුශාසනාව වශයෙන් තමන් වහන්සේගේ ශ්‍රාවක සමූහයාට “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යනුවෙන් අප්‍ර‍මාදයෙහි පිහිටන ලෙස ම වදාළ සේක. එබැවින් ඒ තථාගතයන් වහන්සේ සරණ යන්නා වූ සියල්ලෝ ම ඒ අන්තිම බුද්ධ වචනය සිතට ගෙන ප්‍ර‍මාදය දුරු කොට අප්‍ර‍මාදයෙහි පිහිටා ඒ බුදුන් වහන්සේ විසින් පැමිණියා වූ නිවන් පුරයට පැමිණෙත්වා!

චිත්තෝපක්ලේශ ධර්ම නිමි.

චිරං තිට්ඨතු සද්ධම්මො