උපසම්පදා ශීලය
රේරුකානේ චන්දවිමල හිමි
පටුන
පටුන

උපසම්පදා ශීලය

(හයවන මුද්‍ර‍ණය)

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.

ලේකම්ගේ සටහන්....

බුදු සමයේ එන විනය පිටකය: ව්‍යවස්ථා, අණපනත්, ප්‍ර‍ඥප්ති හා ආචාර ධර්ම යන සියල්ලෙහි එන ගති ලක්‍ෂණ කැටිවුණු ධර්ම කොට්ඨාශයකි. එහි නිවැරදිව හැසිරෙන තැනැත්තා ලෝකයේ ඉහළම දැනුම ලබයි. එම විදර්ශනාව ලැබීම සඳහා කැපවී කටයුතු කරන්නෝ සංඝ රත්නය යි හඳුන්වන අතර, උන්වහන්සේලාට උපකාර වෙමින් පහසු පරිදි විදසුන් ලබන්නට උත්සාහ කරන්නෝ උපාසක - උපාසිකා නම් වෙති.

විනය නීති භික්ෂු - භික්ෂුණී උභය සංඝයා උදෙසා වදාළ ද, ඉන් සමහර කොටස් ක්‍රියාත්මක වීමේදී ගිහියා සම්පූර්ණයෙන් එහි වගකීමෙන් මිදුණේ නොවේ. වෙනත් ආගම්වල නිෂ්ඨාව හා ජීවන ක්‍ර‍මය අනුව එම පූජකවරුන් කරන සමාජ සේවය දෙස බලා පන්සලෙන් ගමට ලැබෙන ලැබෙන දේ මදි යයි විවේචනය කරන්නෝ මේ වගකීම් තේරුම් නො ගත් පුද්ගලයෝ ය. ප්‍ර‍ඥාවත් ගිහියකු විසින් භික්ෂූන් වහන්සේ සිල්වත් කිරීම සඳහා කළ හැකි මෙහෙය විශාල ය. ගිහි භවතුන්ද විචාරාත්මකව විනය පිළිබඳව දත යුත්තේ මේ නිසා ය.

සමස්තයක් ලෙස ගත් කල නූතන නවක භික්ෂූන් වහන්සේ විනය දැනුමෙන් දුප්පත් ය. ඒ නිසා ම හැසිරීමෙන් පිරිහී ඇති බව සැබෑ ය. එසේ වීමට ගිහියා මේ දැනුමෙන් ඈත්වීමත් අධ්‍යාපන ප්‍ර‍තිපත්ති ආදිය ඒ අනුව නො සැකසීමත් හේතු විය. නොදැනුවත් වූ දෙපිරිස ම එක් වී බුදු සසුනෙන් ගත හැකි ප්‍රයෝජන යටපත් කර ක්‍රියා කරති. තමනුත් නො පිරිහෙමින් සසුනේ පිරිහීමත් වළක්වන්නට නම් කෝසල සංයුත්තයේ එන පරිදි ගිහියා විසින් භික්‍ෂූන් වහන්සේ පරිස්සමෙන් ඇසුරු කළ යුතු ය. සර්පයා, ගින්න හා රජුන් ඇසුරු කරන්නාක් මෙන් ප්‍රවේසම් සහගත නොවූයේ නම් ඒ ඇසුර රටට ම අයහපත් ප්‍ර‍තිඵල උදා කරයි.

සිල්වත් නොවන භික්ෂූන් වහන්සේ ගිහියාගෙන් ලබන ප්‍ර‍ත්‍ය පහසුව කොතරම් මානසික වධයකින් ඉවසන්නේ ද යන්න අග්ගික්ඛන්ධෝපම සූත්‍රාදියෙන් ප්‍ර‍කට වේ. මේ නිසා බුදු සසුනේ තමන් හැසිරිය යුතු ආකාරය භික්ෂූන් වහන්සේ විසින් දත යුතු ම ය. තමන් ඇසුරු කරන ගිහියා අපායගාමී නොවීම පිණිස යහමගෙහි යෙදවීමේ වගකීම භික්ෂූන් වහන්සේ සතුය. භික්ෂුත්වය ආරක්‍ෂා කරගෙන ඒ කාර්යයෙහි යෙදීමට නම් නිරවුල් විනය දැනුමක් අවශ්‍ය වේ. අපේ රටේ දී ‘සිංහල කම’ ගොඩනැගුණේ බෞද්ධ ආභාෂයෙන් නිසා දෙපිරිසම විනය දැනුමෙන් පෝෂණය වීම සිංහලකමත්, බෞද්ධ කමත් ආරක්‍ෂා කර ගැනීමට ද හේතු වෙයි.

දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ඉඩ නැති නමුත් බුද්ධ විනය අනුව අනුකූලදැයි සලකා බැලිය යුතු ප්‍ර‍වණතා කීපයක් ම අද ලංකා ශාසන ඉතිහාසයේ සටහන් වී ඇත.

  1. ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයන්හි සාකච්ඡා කළැයි ප්‍ර‍කාශ වූ ‘භික්ෂුණී ශාසනය’ ලොව පුරා ඇති කිරීමේ උනන්දුව හා හොර රහසේ මෙන් එය ලක්දිව පිහිටුවීම.
  2. විදේශ ධර්ම ප්‍ර‍චාරය නමින් සිවුරේ මුවාවෙන් විදේශ ගත වන්නන්, එතෙර ශ්‍ර‍ද්ධාව භෞතික වස්තු වශයෙන් ආනයනය කරන්නන්, හා ඔවුන්ගේ ක්‍රියා කලාපය.
  3. දේවාලයන්හි ස්තෝත්‍ර‍ ගායනා, පඬුරු රැස් කිරීම හා නව ඇදහිලි ප්‍ර‍චලිත කරමින් සිටින සමහර භික්‍ෂූන් වහන්සේලා ගේ ක්‍රියාකලාපය.
  4. පන්සල, නොනිමෙන ගොඩනැගිලි කර්මාන්තයක් බවට පත්වී ඇතැයි ගිහියා තුළ ඇති ආකල්ප හා හර-සුන් පූජා විධි මගින් ගිහියා ආකර්ෂණය කර ගන්නා ගන්නා උත්සාහය සහ බෞද්ධ දර්ශනය ක්‍ර‍මයෙන් දුරස්ථ වීම.
  5. තමන් නිරත විය යුතු විදර්ශනා මග බොහෝ සේ ගිහියාට උගන්වන, තමන් ආධ්‍යාත්මිකව දියුණු නොවූ භික්ෂූන් වහන්සේලාගේ භාවනා මධ්‍යස්ථාන ප්‍ර‍චලිත වීම.
  6. තම සිසුන්ට මූලික ආගමික අධ්‍යාපනයක් දීමට අලස වැඩිහිටි භික්ෂූන් වහන්සේලා එය පිරිවෙනට පැවරීම හා ඒවායේ ක්‍රියා කලාපය.
  7. පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ මත ගොඩනැගෙන විද්‍යාව මුල් තන්හි තබා ගෙන සියල්ලෙන් නිදහස් වීම සොයන බුදුසමයේ ඉගැන්වීම් ඊට අනුකූල දැයි සැසඳීම.
  8. සංඝ සංස්ථාව පරිහානියට ලක් කර දේශපාලන වාසි සොයන භික්ෂූන් වහන්සේ ම තම පැවැත්ම පිණිස ඉහළින් සලකන නායක භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියා කලාප හා දේශපාලන භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියා කලාපය.

මෙවැනි බොහෝ කරුණු නිසා භික්‍ෂූන් වහන්සේ හා “වැදගත් බෞද්ධයා” ගේ ක්‍රියා කලාපය පරිහාසයට ලක් කරන විරෝධාකල්ප ගී රාශියක් අද ජනප්‍රියව පවතී. ඒ ඇසුරින් ශ්‍ර‍ද්ධා හීන සිංහල බෞද්ධ පරපුරක් බිහිවීම වැළැක්විය නො හැකිය. මානව හිමිකම් වැටට මුවාවී රජයත්, සියල්ල අනිත්‍යයි සිතා විනය ගරුක මහා සංඝරත්නය හා බෞද්ධ සංවිධානත් නිසොල්මන්ව සිටියොත් කුමක් වේද?

මේ නො දැනුමට පිළියම් ලෙස රේරුකානේ චන්දවිමල නාහිමියන් විනය පිටකයේ දත යුතු කරුණු කැටි කොට ලියූ දහම් පොත් පෙල නො කඩවා පවත්වගෙන යන්නට අපි උත්සාහ කරමු. සමාජය යන අතේ යන භික්ෂූන් වහන්සේලා නොව අද අපට අවශ්‍ය වන්නේ එය නිවැරදි කරන පිරිසකි. තවමත් එය උන්වහන්සේලාට කළ හැකි (සිවුරෙහි) ශක්තිය හීන වී නැත.

පොතක පිටපත් අවසන් වන්නට මත්තෙන් කෙසේ හෝ එය සම්පූර්ණ කරන්නට අප මෙහෙයවන ගරු සභාපති, පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්‍ද හිමිපාණන්ටත්, අදාල සංවිධාන කටයුතුවලදී නිබඳ සහාය වන විහාරස්ථ හිමිපාණන් වහන්සේලාටත්, පෙර මුද්‍ර‍ණයේ සෝදුපත් සැසඳීමට සහාය වූ දයාවතී අබේසිංහ මහත්මිය, ප්‍ර‍ජා පොල්පිටිය මෙනවිය හා විශ්‍රාමලත් විදුහල්පති හරිස්චන්‍ද්‍ර‍ සිරිවර්‍ධන මහතාටත්, මුද්‍ර‍ණ කටයුතු ඉටුකළ සිකුරු පොත් ප්‍ර‍කාශකයෝ හි ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ඇතුළු කාර්ය්‍ය මණ්ඩලයටත්, සංශෝධිත පරිගණක සටහන් යෙදූ හොරණ රූ-මායා ග්‍රැෆික්ස් හි සාලිය ජයකොඩි මහතාටත්, නිරන්තරව අනුග්‍ර‍හය දක්වන සැදැහැවත් පාඨක භවතුන්ටත් ශාසනයේ පැවැත්මට රුකුල් දෙන මේ පොත මුද්‍ර‍ණයේදී එය සිහිකරමින් ම පින්දෙමු.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි

ගරු ලේකම්

ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක

සංරක්‍ෂණ මණ්ඩලය

2008 සැප්තැම්බර් 01 වන දින

පොකුණුවිට දීය.

අධෝලිපි සංකේත නිරූපණය.

ප්‍ර‍ස්තාවනා

මේ නෛර්‍ය්‍යාණික සර්වඥශාසනයේ ඇති උපසම්පදා ශීලය වනාහි එහි පිහිටන කුලපුත්‍ර‍යන්ට ලෞකික ලෝකෝත්තර සකල සම්පත්තීන් ම සාදා දීමට සමත්, වටිනාකම පමණ කළ නො හෙන, අත්‍යුත්තම අතිදුර්ලභ වස්තුවෙකි. එබැවින් දිව්‍යසම්පත්තීන් වැනි මහත් සම්පත් ඇති මහරජවරු ද, රජකම්වලට හිමිකම් ඇති රජපුත්හු ද, අපරිමිත ධනසම්පත් ඇති මහසිටුහු ද, සිටුපුත්හු ද රජසම්පත් සිටුසම්පත් හැර පැවිදි වූහ. ඒ උපසම්පදා ශීලය, ශීලයන් අතුරෙන් අග්‍ර‍ශීලය ය. එබැවින් එයට ‘අධිශීලය’ යි ද කියනු ලැබේ. එය රක්ෂා කරන තැනැත්තා ආපායිකාදි දුක්ඛයන්ගෙන් හා අත්තානුවාදාදි භයින් ද මුදවන බැවින් ‘ප්‍රාතිමෝක්ෂ සංවරශීලය’ යි ද කියනු ලැබේ. අනේකසහශ්‍ර‍ ශික්ෂා ඇති ඒ ශීලය අතිවිශාලය. එය බොහෝ අනුසස් ඇතියක් වන්නේ ද ඒ නිසාය. එහි අනුසස් නො අඩුව ලැබීමට එය නො නැසෙන පරිදි සිදුරු නො වන පරිදි පලුදු නො වන පරිදි රැකිය යුතුය. එය මැනවින් රැකිය හැකි වීමට එයට අයත් ශීලාංගයන් උගත යුතු ය. දත යුතුය.

“යො ගවං න විජානාති

න සො රක්ඛති ගොහණං,

එවං සීලං අජානන්තො

කිං සො රක්ඛෙය්‍ය සංවරං.”

(මහාවග්ගපාළි)

යම් ගොපල්ලෙක් තමා රකින ගවරැලේ ගවයන් නො හඳුනා නම් ඔහු ගවරැල රැකීමට සමත් නො වන්නේය. ඔහුගේ ගවරැල ක්‍ර‍මයෙන් පිරිහී යන්නේය. එමෙන් ශීලය නො දන්නා වූ පැවිද්දා ද ඔහු විසින් රැකිය යුතු උපසම්පදාශීලය රැකීමට සමත් නොවන්නේය. ඔහුගේ ශීලය ක්‍ර‍මයෙන් පිරිහෙන්නේ ය. සමහරවිට පාරාජිකාපත්තියට පැමිණීමෙන් ඔහු සම්පූර්ණයෙන් ම උපසම්පදාශීලයෙන් පිරිහෙන්නේ ය.

උපසම්පදාවේ ජීවය පාරාජිකාපත්තිවලින් වැළකී විසීමය. පාරාජිකාපත්තියට පැමිණීම ද මහ කලබලයක් ඇතිවන පොලීසියට උසාවියට යන්නට සිදුවන මහ කරුණකින් ම සිදුවන්නක් නො වේ. ඉතා සුළු ඉතා සියුම් දෙයින් ද සමහරවිට පාරාජිකාපත්තියට පැමිණේ. විනය ඉතා සියුම්ය. එබැවින් විනය නො දත් භික්ෂුව ඔහුටත් නොදැනීම පාරාජිකපත්තියට පැමිණිය හැකිය. විනය ද නො දත් සිකපද ගැන සැලකිල්ල ද නැතිව නොයෙක් බාහිර වැඩවල යෙදෙමින් බොහෝ ගනුදෙනුවල යෙදෙමින් වෙසෙන භික්ෂූන්ට එසේ වීමට බොහෝ අවකාශ ඇත්තේ ය. විනය නො දැනීම නිසා පාරාජිකාපත්තියට පැමිණ ඒ බව නො දැන සංඝකර්මවලට සහභාගිවෙමින් උපසම්පන්නයකු ලෙස පෙනී සිටීම, දැන පාරාජිකා වීමට වඩා නපුරුය. උපසම්පන්නයකු විසින් නො දැන වුව ද පාරාජිකා වීමට හේතු වන වරදක් කරන ලද්දේ නම් එකෙණෙහි ම ඔහු පාරාජිකාපත්තියට පැමිණේ. නො දැනීම නිදහසට කරුණක් නො වේ. පාරාජිකාපත්තියට පැමිණීමෙන් උපසම්පදාව අහෝසි වේ. එයට ප්‍ර‍තිකාරයක් ද නැත. එබැවින් ඔහු ඒ ජීවිතයේ දී නැවත උපසම්පදාව ලැබීමට නුසුදුස්සෙක් වේ. නැවත උපසම්පදා කළ ද ඔහුට උපසම්පදාව නො පිහිටයි. ඔහුට ඉතිරි වන්නේ ශ්‍ර‍මණ ලිංගය පමණෙකි. ඔහුට සිවුරු ඉවත් නො කර එසේ ම සිට සාමණේර ශීලය සමාදන් වී සාමණේරයකු වශයෙන් බුදුසසුනෙහි රැඳීසිටීමට අවකාශ ඇත්තේය. එසේ නො කරත හොත් ඔහුට ඇත්තේ සිවුරු හැර යාම ය.

පාරාජිකා වීම මහාපාපයක් ම නො වේ. සමහරවිට අකුශලකර්මපථයන්ට අයත් නො වන සුළු පාපයකින් ද පාරාජිකා විය හැකි ය. මහාපාපයක් වන්නේ පාරාජිකා වී ඒ බව සඟවා ගෙන උපසම්පන්නයකු ලෙස සංඝයා අතර පෙනී සිටීමය. පාරාජිකාපත්තියට පැමිණියහුට එකෙණෙහි ම ඔහුට කලින් තුබූ සඟසතු සෙනසුන් පරිභෝග කිරීමේ අයිතිය ද, සඟසතු භාණ්ඩ පරිභෝග කිරීමේ අයිතිය ද, සංඝලාභයෙන් කොටසක් ලැබීමේ අයිතිය ද යන මේ සියල්ල අහෝසි වේ. නො දැන වුව ද පාරාජිකා වූ මහණ එසේ ම සිටිනවා නම් ඔහු පරිභෝග කරන්නේ තමාට පරිභෝග කිරීමට හිමිකමක් නැති සඟසතු සෙනසුන්ය. ඔහු පාවිච්චි කරන්නේ තමාට අයිති නැති සඟසතු භාණ්ඩයන්ය. වළඳන්නේ ද තමාට අයිති නැති භෝජනය ය. විනය නො දැනීම නිසා සමහරවිට තරුණ කාලයේ දී පාරාජිකා වූ තැනැත්තාට මහලු වියට පැමිණිමෙන් පසු යම්කිසි විනය සාකච්ඡාවක් ඇසීමෙන් හෝ විනය පොත් කියවන විටෙක හෝ තමා පරිජි ඇවතට පැමිණ ඇතිබව දැනෙන්නට පිළිවන. එසේ වුවහොත් ඒ අවස්ථාවෙහි ඔහුට ඇති වන්නේ; එතෙක් කල් තමාට උපසම්පදාවක් නැතිව උපසම්පන්නයකු වශයෙන් පෙනී සිට තමාට අයිති නැති සිවුපසය පරිභෝග කිරීම ගැනත්, වැඳුම් පිළිගැනීම ගැනත්, සංඝකර්මවලට සහභාගී වීම ගැනත් ඉමහත් දොම්නසකි. මහලු වයසට පැමිණ සිටින ඔහුට දැන් ගිහිව ජීවත්වීමට හැකියාවක් ද, මහතෙරකෙනකු වශයෙන් කලක් සංඝයා අතර පෙනී සිටි බැවින් සාමණේරව සිටීමට හැකියාවක් ද නැත. මේ කරුණු නිසා ඔහුගේ සිතට කිසි සැනසිල්ලක් නො ලැබේ. එසේ පසුතැවිල්ලෙන් ජීවත්වන ඔහුට මරණ මොහොතේ ඉදිරිපත් වන්නේ ද ඒ කාරණය ම ය.

කසුප් බුදුන්ගේ සසුනෙහි අරණ්‍යයෙහි වෙසෙමින් ඉතා හොඳින් විසිදහසක් අවුරුදු මහණදම් පිරූ භික්ෂුවක් ඔරුවකින් යාමේදී ඇල්ලූ ගසක කොළයක් කැඩීමෙන් සිදු වූ ඇවත ගැන තුබූ කුකුස මරණාසන්නයේ ඉදිරිපත් වී නාගයකු වී උපන් බව ධම්මපදට්ඨකථාවේ සඳහන් වේ. විසිදහසක් අවුරුදු මහණදම් පිරූ භික්ෂුව ඒ සුළුදෙය පිළිබඳව ඇති වූ කුකුස නිසා එසේ වී නම් පාරාජිකාවට පැමිණ සිටීම නමැති ඒ මහා වරද මරණාසන්නයෙහි ඉදිරිපත් වූ මහණහුට කෙසේ සුගතියකට පැමිණිය හැකි වේ ද? ඔහු පත්වනු ඇත්තේ ඉමහත් දුකකට ය. මේ විනය නො දැනීමෙන් විය හැකි මහත් වූ නපුරය.

පාරාජිකාපත්තියට පැමිණීම හා ඉන් මිදීම යන දෙකරුණ ම සමහර අවස්ථාවලදී ඉතා සියුම් ලෙස සිදුවෙයි. පාරාජිකාවට ළං වන ඇතැම් කරුණුවලින් පාරාජිකා නො වී දුකුළා ඇවතකට හෝ ථුලැසි ඇවතකට හෝ පැමිණ නවතින අවස්ථා ද ඇත්තේ ය. එබඳු කරුණු වලදී සමහරවිට විනය නො දත් භික්ෂුවට පාරාජිකා නොවී ම පාරාජිකා වූයෙමිය යන හැඟීම් නිසා ද ඇතැම්හු මට දැන් පැවිද්දේ රැඳී සිටීමෙන් නපුරක් මිස යහපතක් නැතැයි සිවුරු හැර යති. ඇතැම්හු පාරාජිකා වූ මට දැන් කුමක් කළත් කම් නැතැයි සිතා නොයෙක් නො මනා කම්හි යෙදෙමින් සිට දිවි කෙළවර අපාගත වෙති.

සංඝාදිසේසාපත්තිවලට පැමිණීම හා නො පැමිණීම ද සමහරවිට ඉතා සියුම් ලෙසින් වේ. විනය නො දත් ඇතැම්හු සංඝාදිසේසාපත්තියට පැමිණ, ඒ බව තමා නො දන්නා බැවින් ප්‍ර‍තිකාර නො කොට කල් යවා ඇවතට ප්‍ර‍තිකාර කිරීමට දුෂ්කර වන තත්ත්වයට පමුණුවා ගනිති. ඇතැම්හු ඇවතට නො පැමිණ ම පැමිණියෙමිය යන හැඟීම ඇති කරගෙන දුක්වෙති. ශික්ෂාකාමී වුව ද ඇතැම් පැවිද්දෝ නො දැනීම නිසා දිනපතා බොහෝ සුළු ඇවැත්වලට පැමිණෙති. විනය නො දත් භික්ෂුවට රැකීමට ඇත්තේ සිකපද සුළු ගණනෙකි. එබැවින් ඔහුගේ ශීලය සුළු ය. විනය නො දත් භික්ෂුවක් පාසිවුරු පමණක් ඇතිව අරණ්‍යයකට වී සිටිය ද ඔහුගේ ශීලය සුළුබව කිව යුතු ය. විනය දත් භික්ෂුවට රැකීමට බොහෝ සිකපද ඇත්තේ ය. එබැවින් ඔහුගේ ශීලය විශාල ය.

භික්ෂුව විසින් අවශ්‍යයෙන් ම විනය දැන සිටිය යුතු බැවින් පෙර විසූ ශික්ෂාකාමී භික්ෂූහු අන් සෑම උගෙනීමකට ම වඩා විනය උගෙනීම ගැන සැලකිල්ලක් දැක්වූහ. ඔවුහු විනය පිටකය වරක් දෙකක් උගෙනීමෙන් නො නැවතුණෝ ය. එක් එක් භික්ෂුව වාර බොහෝ ගණන් ගුරුන්ගෙන් විනය උගත්තෝ ය. උගත් විනය පිටකය අමතක නො වනු පිණිස දිවි හිමියෙන් සජ්ඣායනා කළෝ ය. පෙර විසූ ශික්ෂාකාමීන් විනය උගත් ආකාරය දැක්වීම සඳහා සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි දක්වා ඇති කථාවක් මෙසේ ය.

පෙර ලක්දිව ඇති වූ බැමිණිතියාසාය නමින් හඳුන්වන මහා දුර්භික්ෂ කාලයේදී බොහෝ භික්ෂූහු දිවිරැක ගැනීම පිණිස මුහුදින් එතෙරට ගියෝ ය. මෙහි ඉතිරි වූ බොහෝ භික්ෂූහු ආහාර නො ලැබීමෙන් හා වෙනත් උවදුරුවලින් අපවත් වූහ. ගම්භීරකන්දර නමැති වනයෙහි ගස්යට හිඳ, හිඳිනා ඉරියව්වෙන් ම රහතන් වහන්සේ සූවිසි දහසක් ආහාර නො ලැබීමෙන් පිරිනිවි බව කියා තිබේ. ඒ නපුරු කාලයේදී උපතිස්ස තෙරුන් වහන්සේය ඵුස්සදේව තෙරුන් වහන්සේ ය යන දෙනම එක්ව මහෝත්සාහයෙන් විනය පිටකය රැකගැනීමෙහි යෙදුණෝ ය. ඒ කාලයේ ත්‍රිපිටකය ග්‍ර‍න්ථාරූඪ කර නො තිබුණේ ය. විනය රැකීමය කියා උන් වහන්සේලා දෙනම කළේ තමන් විසින් ධාරණය කර ගෙන ඇති අටුවා සහිත විනය පිටකය අමතක නො වන සේ පැවැත්වීම ය. සිතින් දරාගෙන ඇති දෙයක් කලක් මෙනෙහි නො කර විසුවහොත් ඒ දෙය නැවත සිහිකළ නො හෙන තත්ත්වයට පැමිණේ. ඒ නිසා අමතක නො වනු පිණිස පාඩම් ඇති දෙය නැවත නැවත සජ්ඣායනා කළ යුතු ය. අටුවා සහිත විනය පිටකය වරක් සජ්ඣායනා කිරීමට දින ගණනක් වුවමනා ය. එබඳු විශාල දෙයක් දුර්භික්ෂ සමයකදී ආහාර ද නැතිව නැවත නැවත සජ්ඣායනා කිරීම අති දුෂ්කර ය. එහෙත් ඒ මහතෙර දෙනම නැවත නැවත සජ්ඣායනා කරමින් අටුවා සහිත විනය පිටකය නැසෙන්නට නො දී පවත්වා ගත්හ. ඒ දෙනමගෙන් උපතිස්ස තෙරුන් වහන්සේ වඩා ව්‍යක්තයෝ ය. මහාපදුමය, මහාසුම්මය යි උන් වහන්සේට අතවැසි දෙනමක් වූහ. ඔවුන්ගෙන් මහාසුම්ම තෙරුන් වහන්සේ ස්වකීය ආචාර්‍ය්‍යයන් වහන්සේගෙන් නවවාරයක් විනය පිටකය අසා ගත්හ. මහාපදුම තෙරුන් වහන්සේ මහාසුම්ම තෙරුන් වහන්සේ හා එක්ව නවවාරයක් ද මහාසුම්ම තෙරුන් වහන්සේ ගිය පසු නව වාරයක්ද මෙසේ අටළොස් වාරයක් විනය පිටකය උගත්තේ ය. ඒ දෙනමගෙන් මහාසුම්ම තෙරුණුවෝ ගුරුවරයාගේන නවවාරයක් විනය පිටකය අසා ගැනීමෙන් පුස අන් පෙදෙසක වාසය පිණිස ගියහ. දිනක් මහාපසුම තෙරුන් වහන්සේ “අටුවා සහිත විනයපිටකය නොයෙක් වර අසාගෙන ඇත ද ආචාර්‍ය්‍යවරයා ජීවත් වන්නේ නම් නැවත නැවත එය ඇසිය යුතුය, වර්ෂයක් පාසා විනයපිටකය සජ්ඣායනා කළ යුතුය, එසේ තිබිය දී ජීවත්වන ආචාර්‍ය්‍යවරයා හැර බැහැර ගොස් සිටින මහාසුම්ම ස්ථවිරතුමා සූරයෙකැ” යි මහාසුම්ම තෙරුන් වහන්සේට පරිහාස වශයෙන් කීහ. පෙර විසූ ශික්ෂාකාමී තෙරුන් වහන්සේලා විනයට ගරු කළ තරම මේ කථාවෙන් පෙනේ.

අටුවා ටීකා සන්න ගැටපදවිවරණ හා සංග්‍ර‍හග්‍ර‍න්ථ රාශියක් ද ඇති විනය සාහිත්‍යය අති විශාල ය. පාරාජිකාපාළිය පාචිත්තියපාළිය මහාවග්ගපාළිය චූළවග්ගපාළිය පරිවාරපාළිය කියා මූලික ග්‍ර‍න්ථ පසක් ඇත්තේය. විනය පිටකය යි කියනුයේ ඒ ග්‍ර‍න්ථ පසට ය. සංක්ෂේපයෙන් විනය පිටකයෙහි දැක්වෙන බොහෝ කරුණු ඒ ග්‍ර‍න්ථවලින් ම තේරුම් ගත නො හෙන බැවින් බුද්ධමතය තේරුම් ගැනීමට සමත් මහාකාශ්‍යපාදි මහරහත්හු එයට අර්ථවර්ණනාවක් ද තැබූහ. අටුවාවය යි කියනුයේ ඒ අර්ථවර්ණනාවට ය. එය බුදුරජාණන් වහන්සේගේ ‘ප්‍ර‍කීර්ණක දේශනාවය’ යි ද කියා ඇත. එබැවින් ඒ අර්ථකථාවත් විනයපාළිය සේ ම ගරු කළ යුතුය. මහාකාශ්‍යපාදි රහතන් වහන්සේලා පිළියෙල කළ ඒ මූල අටුවාවට ‘මහාඅටුවාවය’ යි කියනු ලැබේ. එය මිහිඳු මා හිමියන් විසින් ලක්දිවට ගෙනෙන ලද්දේ ය. පසු කාලයේ දී එය සිංහල තෙරුන් වහන්සේලා විසින් හෙළබසට නඟා ගත්හ. මාගධභාෂාවෙන් ඇති ත්‍රිපිටක පොත් හා අටුවා පොත් අන්බසකට පෙරලූ කල්හි එහි රසය බොහෝ දුරට හීන වේ. දැනට සිංහලට පෙරලා ඇති ත්‍රිපිටක පොත් කියවීමට ප්‍රිය නැත්තේ ඒවායේ රසය හීන නිසා ය. නියම රසය ඇතිවන ලෙස ත්‍රිපිටක පොත් අන් බසකට පෙරළිය නොහැකි ය. දඹදිවින් මෙහි ගෙන ආ පාළි විනය අටුවාව හෙළබසට නැඟීමෙන් අවුල් වන්නට ඇතැයි සිතිය හැකිය. එය එසේ නො විණි නම් තවත් අටුවා ලියන්නට කරුණක් නැත. මහා අටුවාව හැර කුරුන්දි අටුවාව ය. මහාපච්චරියඅටුවාව ය, අන්ධක අටුවාව ය, සංකේෂේප අර්ථකථාවය යි තවත් අටුවා සතරක් අතීතයේ තුබූ බව දැනට ඇති විනය අටුවාව වන සමන්තපාසාදිකාවෙන් පෙනේ. ඒ අටුවාවලින් එකකුදු දැනට දක්නට නැත. දැනට දක්නට ඇත්තේ බුදුගොස් හිමියන් විසින් මාගධභාෂාවෙන් සැපයූ සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාව පමණෙකි. විමතිවිනෝදනීටීකාව ය. සාරත්ථදීපනීටීකාව ය. වජිරබුද්ධිටීකාව ය කියා සමන්තපාසාදිකාවේ දුර්බෝධ තැන් විස්තර කරන ටීකාග්‍ර‍න්ථ තුනක් ඇත්තේ ය. සිංහල තෙරවරුන් විසින් ඒ පොත් සිංහලයෙන් නො කර පාළිභාෂාවෙන් ම සපයා ඇත්තේ විනය වර්ණනාවට යෝග්‍ය භාෂාව පාළිභාෂාව වන නිසාය.

විනය නම් බුදුරදුන්ගේ නීතිය ය. එය ඉතා ගැඹුරු ය. ඉතා සියුම් ය. විනිශ්චය කිරීමට ඉතා දුෂ්කර තැන් එහි ඇත්තේ ය. ඇතැම් විනය කරුණු විනිශ්චය කිරීමට අටුවා ටීකා කළ මහා විනයඥයන් පවා සමත් වී නැත. ඒ තැන්වලදී විනිශ්චයක් නො කොට අටුවාටීකාවල නොයෙක් ආචාර්‍ය්‍යවාද දක්වා ඇත්තේ ය. ග්‍ර‍න්ථප්‍ර‍මාණයෙන් විශාල වූ ද ගැඹුරු වූ ද මේ විනය, දැන ගැනීම පිණිස අටුවාටීකා සහිත විනය පිටකය විනය විශාරද ආචාර්‍ය්‍යවරයන් ඇසුරු කරමින් පරිශීලනය කළ යුතුය. අතීතයේ විසූ භික්ෂූහු ධර්මවිනය පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගත යුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන්වල විද්‍යාලවල උගන්නා භික්ෂූන්ට ප්‍රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නො ලැබේ. එහෙයින් ම වර්තමාන භික්ෂුවගේ විනය දැනීම ඉතා අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්‍රාතිමෝක්ෂය උගෙනීම ම ද ප්‍ර‍මාණවත් නො වේ. උපසම්පදා ශීලයට අයත් ප්‍රාතිමෝක්ෂයට ඇතුළත් වී නැති බොහෝ සිකපද ඛන්ධකවල එන්නේ ය. ඒවා ද භික්ෂූන් විසින් අවශ්‍යයෙන් දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු අරණවල ද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍ර‍ම ද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන් ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනිමට ක්‍ර‍මයක් පිළියෙල කිරීම් වශයෙන් උපසම්පදා ශීලය නමැති මේ ග්‍ර‍න්ථය සම්පාදනය කරන ලදී.

මේ ග්‍ර‍න්ථය සම්පාදනය කරන ලද්දේ මෙකල වෙසෙන භික්ෂූන්ට කරන්නට ඇති වැඩවලට සම්බන්ධ සිකපද විනයපිටකයේ සියලු ග්‍ර‍න්ථවලින් එකතු කර ගැනීමෙනි. එබැවින් මෙය විනයසංග්‍ර‍හයෙකි. මෙකල භික්ෂූන් අතින් කවරාකාරයකින්වත් කඩ නො වන, මෙකල භික්ෂූන්ට කඩ කරන්නට වුවමනාවක් නො වන බොහෝ සිකපද විනයෙහි ඇත්තේ ය. ප්‍රාතිමෝක්ෂයෙහි භික්ෂුණීන් පිළිබඳ සිකපද ගණනක් ඇත්තේ ය. මෙකල භික්ෂුණීන් නැති බැවින් වර්තමාන භික්ෂුවට වුවමනාවෙන්වත් ඒ සිකපද කඩ කළ නො හැකිය. මෙකල භික්ෂූන් එළුලොම්වලින් කිසිවක් නො කරති. එබැවින් එළුලොම් සම්බන්ධයෙන් පනවා ඇති සිකපද වර්තමාන භික්ෂුව අතින් කඩ නො වේ. එවැනි මෙකලට වුවමනා නැති කරුණු සම්බන්ධ සිකපද, ප්‍රාතිමේක්ෂයෙහි ඇත ද මේ ග්‍ර‍න්ථයට ඒවා ඇතුළු නො කරන ලදී. තවද මේ ග්‍ර‍න්ථයට ඇතුළත් කළ යුතු කරුණු රාශියක් අප විසින් සම්පාදිත ශාසනාවතරණය, විනයකර්මපොත යන ග්‍ර‍න්ථ දෙක්හි ඇත. ඒවා ඒ පොත්වල ඇති බැවින් මෙයට ඇතුළු නො කරන ලදි. ඇවැත් දෙසීම පොහෝ පවුරුණු කිරීම, කඨින ඇතිරීම, ගරුකාපත්තිවලට ප්‍ර‍තිකාර කිරීම යනාදි කරුණු හා වත් ආදිය ශාසනාවතරණයෙන් දත හැකිය.

ආදිබ්‍ර‍හ්මචරිය නම් වූ ද, මහාසීල නම් වූ ද, මහ සිකපදනම් වූ ද පාරාජිකා සිකපද සතර භික්ෂුවගේ ජීවය ය. ඒ සිකපද සතර භික්ෂුව විසින් සතතයෙන් ම රැකිය යුතුය. එහි ස්ථිර ලෙස පිහිටා සිටිය යුතුය. එබැවින් ඒ මහ සිකපද සතර මෙහි පළමු කොට විස්තර කරන ලදී. සිකපදවලින් දෙවන තැනට පැමිණෙන්නේ සංඝාදිසේස සිකපදයන් ය. සංඝාදිසේස තෙලෙසකි. නිතර සිහියෙන් පරෙස්සමින් නො හැසුරුන හොත් ඇවතට පැමිණීමට අවකාශ ඇති මුල් සංඝාදිසේස සිකපද පස පාරාජිකාවන්ට අනතුරුව මෙහි විස්තර කර ඇත.

කුඩා කුඩා සිකපද බොහෝ ඇත්තේ භික්ෂුවකට කරන්නට ඇති නොයෙක් වැඩ සම්බන්ධයෙනි. පාත්‍ර‍ය සැපයීම, පිළිගැනීම, පිළිගත් පාත්‍ර‍ය පරිභෝග කිරීම, අතිරේක පාත්‍ර‍ ලැබීම, සිවුරු සැපයීම, පිළිගැනීම, පරිභෝග කිරීම, පටි ආදි තවත් පිරිකර පරිභෝග කිරීම, ආහාර සැපයීම, පිළිගැනීම, වැළඳීම, පිළිගත් ආහාරය තබා ගැනීම, දීම, ගිලන්පස පිළිගැනීම, තබා ගැනීම, නෑම, කෙස්රැවුල් බෑම, හිඳීම, සිටීම, යාම, නිදීම, කථා කිරීම, දහම් දෙසීම ආදි භික්ෂුවකට කරන්නට ඇති වැඩ රාශියක් ඇත්තේය. විනයපිටකයෙහි සිකපද දක්වා ඇත්තේ වැඩ අනුව නො වන බැවින් එහි එක් වැඩක් පිළිබඳ වූ සිකපද ග්‍ර‍න්ථ ගණනක, ස්ථාන ගණනක විසිර ඇත්තේය. සාමාන්‍ය භික්ෂූන්ට ඒවා සොයා වෙන්කොට ගොනුකර ගැනීම අපහසුය. ඒ නිසා ඇතැම්හු ඇතැම් වැඩ කිරීමේදී බොහෝ ඇවැත්වලට පැමිණෙති. දැන ගැනීම මතක තබාගැනීම යන දෙකරුණම පහසු වීම සඳහා මෙහි කරන්නට ඇති ඒ ඒ වැඩ පිළිබඳ සිකපද වැඩ අනුව ගොණුකොට දක්වා ඇත්තේය. මේ ග්‍ර‍න්ථය භාවිතා කිරීමෙන් ඒ ඒ කටයුත්ත කිරීමෙහිදී පිළිපැදිය යුතු සිකපද සියල්ල දැන ඒවාට අනුව පිළිපදිමින් එම ඇවැත් නො වන පරිදි ඒ ඒ කටයුතු කළ හැකි වනු ඇත.

විනයෙහි බොහෝ සිකපද ඇත ද, භික්ෂුවට ඒ සියල්ල ම පිළිපැදීමේ බර නිතර ම නැත්තේ ය. ඒ ඒ කටයුත්ත කිරීම පිළිබඳ සිකපද පිළිපැදීමේ අවස්ථාව ඒ කටයුත්ත කරන අවස්ථාවය. ආහාර ගැනීම පිළිබඳ සිකපද පිළිපැදීමේ අවස්ථාව ආහාර වළඳන අවස්ථාවය. ආහාර වළඳන අවස්ථාව ගමනාදිය පිළිබඳ සිකපද පිළිපැදීමේ අවස්ථා නො වේ. එබැවින් ගමනාදිය සම්බන්ධයෙන් ඇති සිකපද පිළිපැදීමේ බර ආහාර වැළදීමෙහිදී නැත. ගමනෙහිදී ද ආහාර වැළඳීම් ආදියෙහි ඇති සිකපද පිළිපැදීමේ බර නැත. එබැවින් බොහෝ සිකපද ඇතිබව භික්ෂුවට මහබරෙකැයි නො කිය හැකිය.

මේ උපසම්පදා ශීලය වනාහි ගිහියන් පොහෝ දිනයෙහි රකින අෂ්ටාංග ශීලය සේ සුළු සීලයක් නො වේ. එක්දිනක් රකින ශීලය තනිපයින් සිට රැකිය යුත්තක් වුව ද එය රැකීම එතරම් දුෂ්කර නො වේ. එක සිකපදයක් වුව ද වර්ෂගණනක් හෝ දිවිහිමියෙන් හෝ රැකීම අති දුෂ්කරය. භික්ෂූහු පාරාජිකා සිකපද සතර වූ මහාශීලය දිවිහිමියෙන් රකිති. එය සුළු කරුණක් නො ව මහ කරුණෙකි. බොහෝ ගණනක් ඇති සංඝාදිසේසාදී ඛුද්දානුඛුද්දක සිකපද වලින් එකකුදු නො කඩවන පරිදි උපසම්පදා ශීලය පෘථග්ජන භික්ෂුවකට තබා සියලු කෙලෙසුන් නැසූ රහත් කෙනකුට වුව ද රැකීම දුෂ්කරය. යමෙක් පාරාජිකා සිකපද සතර වුව ද දීර්ඝකාලයක් රකින්නේ නම් ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. වැඳුම් පිදුම් ලැබීමට සුදුස්සෙකි. ලෝකවද්‍ය ශික්ෂාපද ය. ප්‍ර‍ඥප්තිවද්‍ය ශික්ෂාපදය යි සිකපද දෙකොටසෙකි. රහතුන්ට අර්හත්වයේ බලයෙන් ලෝකවද්‍ය ශික්ෂාපද රැකේ. රහත්හු කිසිකලෙක ලෝකවද්‍ය ශික්ෂාපද කඩ නො කරති. අර්හත්වයේ බලයෙන් ප්‍ර‍ඥප්තිවද්‍ය ශික්ෂාපද, නො රැකේ. සමහරවිට රහතුන් අතින් ද ප්‍ර‍ඥප්තිවද්‍ය ශික්ෂාපද කඩ වේ.

“එත්ථ පන ඛීනාසවො තාව ලොකවජ්ජං න පජ්ජති. පණ්ණත්ති වජ්ජමෙව ආපජ්ජති. ආපජ්ජන්තො ච කායෙන පි වාචාය පි චිත්තතෙන පි ආපජ්ජති. කායෙන ආපජ්ජන්තො කුටිකාරසහසෙය්‍යාදිනි ආපජ්ජති. වාචාය ආපජ්ජන්තො සඤ්චරිත්ත පදසොධම්මාදීනි, චිත්තෙන ආපජ්ජන්තො රූපියටිග්ගහණං ආපජ්ජති.”

(මනෝරථපූරණි 443)

මේ පාඨයෙන් රහතුන් ද කුටිකාරකසංඝාදිසේස සඤ්චරිත්තසංඝාදිසේස පදසෝධම්මපාචිත්තිය රූපියටිග්ගහණපාචිත්තිය යනාදියට පැමිණෙන බව මනේරථපූරණි අටුවාවෙහි දක්වා ඇත්තේ ය. රහතුන් අතින් ද සිකපද සමහරවිට කඩවිය හැකි කල්හි පෘථග්ජන භික්ෂූන් අතින් සිකපද කඩවීම ගැන කියනු කිම? මහා සිකපද සතරෙහි ස්ථිර ලෙස පිහිටා සිටින භික්ෂුවගෙන් සමහරවිට කුඩා සිකපද කඩවුව ද එයින් ඒ භික්ෂුව අභව්‍ය පුද්ගලයෙක් නො වේ.

“ඉධ පන භික්ඛවෙ භික්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං මත්තසොකරී පඤ්ඤාය මත්තසොකරී සො යානි තානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි තානි ආපජ්ජතිපි, වුට්ඨාතිපි. තං කිස්ස හෙතු? නහි මෙත්ථ භික්ඛවෙ අභබ්බතා වුත්තා.”

(අංගුත්තර නිකාය - 141 පි.)

මේ පාඨයෙන් මහ සිකපද සතර වූ ආදිබ්‍ර‍හ්මචර්‍ය්‍යශීලය සම්පූර්ණ කරන්නා වූ සමාධිප්‍ර‍ඥා දෙක ප්‍ර‍මාණයෙන් ඇති කර ගන්නා වූ භික්ෂුව ඛුද්දානුඛුද්දක ආපත්තීන්ට පැමිණෙන්නේ ද ඇවැත් දෙසීම ආදියෙන් ඒවායින් නැඟීසිටින්නේ ද වේ නම් ඒ කුඩා කුඩා ඇවැත්වලට පැමිණීම, නැඟීසිටීම මඟඵල ලැබීමේ අභව්‍යතාවක් නො වන බව දැක්වේ. කරුණු මෙසේ හෙයින් කුඩා කුඩා ඇවැත්වලට පැමිණෙන භික්ෂුවගේ පැවිද්ද අසාර්ථක එකක් නො වන බව දත යුතු ය. කුඩා සිකපදය වුව ද රැකීමට සුදුසු පරිසරය ඇති කල්හි භික්ෂූන්ට සිකපද රැකීම පහසු ය. පරිසරය කලින් කල වෙනස් වේ. සිකපද රැකීමට අනුබල නො ලැබෙන, ඒවාට බාධා කරන පරිසරයෙහි සිකපද රැකීම දුෂ්කර වේ. යුද්ධභය දුර්භික්ෂය රෝගභය පැමිණ පරිසරය වෙනස් වූ අවස්ථාවල සිකපද රැකීම බොහෝ දුෂ්කර වේ. දැනට ඇත්තේ සිකපද රැකීමට තරමක් දුෂ්කර පරිසරයෙකි. දුෂ්කරකම් නිසා මුලින් සිකපද කඩා ජීවත් වන භික්ෂුවට ක්‍ර‍මයෙන් එය කොතරම් දුරට යනවාද කියත හොත් කල්යාමෙන් ඒ කුඩා සිකපද ඇති බව පවා නොදන්නා භික්ෂූහු වෙති. දැනුදු බොහෝ කුඩා කුඩා සිකපද ඇති බව නො දන්නා බොහෝ භික්ෂූහු ඇත්තාහ. ඔවුන් අතර දන්නවා නම් ඒ කුඩා සිකපද රකිනු කැමති බොහෝ සැදැහැවත් භික්ෂූහු ද වෙති. ඔවුනට ඒවා දැන ගැනීමට මඟක් ඇති කිරීම මේ ග්‍ර‍න්ථය සම්පාදනය කිරීමෙන් අප බලාපොරොත්තු වන එක කරුණෙකි.

දුෂ්කෘත - දුර්භාෂිත - පාචිත්තිය - ථුල්ලච්චය - සංඝාදිසේසාපත්තිවලට පැමිණ ඇත ද පාරාජිකාපත්තියට නො පැමිණි භික්ෂූන් ලොව ඇතිතාක් ප්‍ර‍තිපත්ති ශාසනය නො නැසෙන බවත්, පාරාජිකාවනට නො පැමිණි අන්තිම භික්ෂුවගේ පාරාජිකාපත්තියට පැමිණීමෙන් හෝ මරණයෙන් ප්‍ර‍තිපත්ති ශාසනය කෙළවර වන බැවින් “චත්තාරි පාරාජිකානි රක්ඛන්තානං සතෙපි සහස්සෙපි ධරමානෙ පටිපත්ති අනන්තරභිතා නාම හොති. පච්ඡිමකස්ස පන භික්ඛුනො සීලභෙදෙනෙ වා ජීවිතක්ඛයෙන වා අන්තරභිතා නාම හොති” යනුවෙන් මනෝරථපූරණි අට්ඨකථාවෙහි දක්වා ඇත්තේ ය. නොයෙක් උවදුරු ඇතිවීමෙන් කලින් කල සිල්වත් භික්ෂූන් තබා දුශ්ශීල භික්ෂූන් ද ඒ ඒ රටවල නැතිවීම ස්වභාවයකි. එබඳු කලකදී පාරාජිකා නො වූ භික්ෂූන් පස්නමක් ඉතිරි වුව හොත් ඒ අයට සැදැහැවතුන් පැවිදි උපසම්පදා කරවා නැවත ද ශාසනය නඟා සිටුවිය හැකි ය. ප්‍ර‍ත්‍යන්තයේ උපසම්පදා කිරීමට උපසම්පදා පස්නම ප්‍ර‍මාණවත් ය.

බුදුසසුන රැකීමට කළ යුතු ප්‍ර‍ධාන දෙය විනය රැකීමය. සූත්‍රාභිධර්මපිටකද්වය නැති වී ගිය ද විනය ඇති කල්හි බුදුසස්න පවත්නේ ය.

“පමුට්ඨම්හි ච සුත්තන්තෙ - අභිධම්මෙ ච තාවදෙ

විනයෙ අවිනට්ඨම්හි - පුන තිට්ඨති සාසනං.”

(මහාවග්ගපාළි)

යනුවෙන් ඒ බව ප්‍ර‍කාශිත ය. එබැවින් සර්වඥශාසනයේ චිරස්ථිතිය පිණිසත් තමන්ගේ පැවිද්ද සඵල කර ගැනීම පිණිසත් භික්ෂූහු ආදරයෙන් විනය පිටකය උගනිත්වා. ඒ විනය අනුව පිළිවෙත් පුරා දුක් කෙළවර කර ගනිත්වා.

මේ ග්‍ර‍න්ථය මුද්‍ර‍ණයේදී අපගේ ශිෂ්‍යනමක් වන විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බුද්ධර්මාංශයේ කථිකාචාර්‍ය්‍යවරයකුව සිටි ශාස්ත්‍රාචාර්‍ය්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්ථවිර සහ ශාස්ත්‍රාචාර්‍ය්‍ය චන්ද්‍ර‍පාල තනිප්පුලිආරච්චි මහතා ද ශෝධ්‍යපත්‍රාවලෝකනාදිය කළ බව ස්තුති පූර්වකව සඳහන් කරමු.

මීට - ශාසනස්ථිතිකාමී, රේරුකානේ චන්දවිමල මහාස්ථවිර

2513 (1970) පෙබරවාරි 6 වෙනි දින, පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.

උපසම්පදා ශීලය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“නවකොටිසහස්සානිත්‍යාදිනා වුත්තප්පභෙදානං අනෙක-සහස්සානං සංවරවිනයානං සමාදියිත්වා වත්තනෙන උපරිභූතා අග්ගභූතා සම්පදාති උපසම්පදා.[1]

නව කොටිසහස්සානි යනාදීන් දක්වන ලද ප්‍රභේද ඇති අනේකසහශ්‍ර‍ සංවරවිනයයන් සමාදන්ව පැවතීම් වශයෙන් උසස් වූ අග්‍ර‍ වූ සම්පදාව උපසම්පදාවය.

එහි භික්ඛු උපසම්පදා, සරණගමන උපසම්පදා, ඕවාදපටිග්ගහණ උපසම්පදා, පඤ්හව්‍යාකරණ උපසම්පදා, ගරුධම්මපටිග්ගහණ උපසම්පදා, දූතේන උපසම්පදා, අට්ඨවාචික උපසම්පදා, ඤත්තිචතුත්ථකම්ම උපසම්පදා යි උපසම්පදා අටක් ඇත්තේ ය. ඒවායින් දැනට ඇත්තේ ඤත්තිචතුත්ථකම්ම උපසම්පදාවය.

උපසම්පදා කිරීමට අන්තරායික කරුණුවලින් පිරිසිදු සැදැහැවත් ගුණසම්පන්න සාමණේර නමක් විසින් සීමාවකට රැස්ව සිටින සංඝයාගෙන් “සංඝං භන්තෙ උපසම්පදං යාචාමි උල්ලුම්පතු මං භන්තෙ සංඝො අනුකම්පං උපාදාය” යන වැකිය තුන් වරක් කියා උපසම්පදාව ඉල්ලා සිටිය හොත් සංඝයා කැමති වන්නේ නම් බුද්ධාඥාව පරිදි ඥප්තිචතුර්ථකර්මයෙන් සංඝයා විසින් ඔහු උපසම්පදා කරනු ලැබේ. “උපසම්පදා කිරීම” ය යනු පුද්ගලයකු බුදුරජාණන් වහන්සේගේ උසස් ශ්‍රාවක පිරිස වන භික්ෂු පිරිසට ඇතුළු කිරීම් වශයෙන් සාමණේරයන් උසස් කිරීමය. එසේ උසස් කරනු ලැබූ කුලපුත්‍ර‍යා උපෝෂථ පවාරණාදි සංඝ කර්මයන්ට සහභාගී වීමට සුදුසු සංඝයාට අයත් පුද්ගලයෙක් වේ. ඔහුට “භික්ඛු” යන නාමය හා “උපසම්පන්න” යන නාමය හිමි වේ. උපසම්පදාව ලත් භික්ෂුවට ශීලයක් ද ඇත්තේ ය. එය පඤ්චශීල අෂ්ටාංගශීලාදිය මෙන් සිකපද කියවා සමාදන් කරවන ශීලයක් නොව, බුද්ධාඥාව පරිදි හිමිවන ශීලයෙකි. උපසම්පදාවේ ජීවය ඒ ශීලය ය. චූලසීල මජ්ඣිමසීල මහාසීල යන නම්වලින් සූත්‍ර‍වල සඳහන් වන ආර්යශීලය උපසම්පදා සීලය ය. භික්ෂූන් ඇති වූ මුල් කාලයේදී භික්ෂූහු සිකපද නැතිව ම ඒ ශීලය රක්ෂා කළෝ ය. සිකපද නො පැනවුව හොත් බුදුසස්න වැඩිකල් නො පවත්නා බව දුටු භාග්‍යවතුන් වහන්සේ පසු කාලයේ දී ශාසනයාගේ චිරස්ථිතිය සඳහා වරදවල කුඩා මහත් බව අනුව “පාරාජිකාය, සංඝාදිසේසය, අනියතය, පාචිත්තියය, පාටිදේසනීයය, දුක්කටය, දුබ්භාසිතය”යි වරදවල් සත් කොටසකට බෙදා භික්ෂූන්ට සිකපද පනවා වදාළ සේක. භික්ෂුප්‍රාතිමෝක්ෂයෙහි ඇති 220 ක් සිකපද හා භික්ෂුණීප්‍රාතිමෝක්ෂයේ එන සාධාරණ සිකපද ද මහා වග්ගපාළි චුල්ලවග්ග පාළි යන පොත් දෙකෙහි ඇතුළත් සිකපද ද යන මේවා භික්ෂුවගේ උපසම්පදා ශීලය ය. ඒ ශීලය ප්‍රාතිමෝක්ෂසංවරශීල නම් වේ. එය දිලිසෙන වස්තූන්ට සූර්‍ය්‍යා මෙන් සකල ලෞකික ශීලයන්ට උසස් බැවිනුත් බොහෝ ශික්ෂා ඇති බැවිනුත් අධිශීල නම් වේ.

උපසම්පදා ශීලයට අයත් ශික්ෂාපද බොහෝ බැවින් ඒ ශීලය ඉතා මහත් ය. උපසම්පන්නයකුට ඒ ශික්ෂා සමූහය දැන ගැනීමට හා විනයකර්ම දැන ගැනීමට දිගු කලක් ගත විය හැකිය. එබැවින් තථාගතයන් වහන්සේ “අනුජානාමි භික්ඛවෙ! බ්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන පඤ්ච වස්සානි නිස්සාය වත්ථුං, අබ්‍යත්තෙන යාවජීවං”[2] යනුවෙන් ව්‍යක්ත වූ ප්‍ර‍තිබල වූ භික්ෂුව විසින් උපසම්පදාවෙන් පසු පස්වසක් ද, අව්‍යක්ත භික්ෂුව විසින් දිවිහිමියෙන් ද ගුරුවරයකු ඇසුරු කොට විසිය යුතු බව අනුදැන වදාළ සේක. ඒ නියමය අනුව ගුරුවරයකු ඇසුරෙහි විසීම උපසම්පදා ශීලයේ එක් ශික්ෂාවෙකි. එය කඩ කොට ගුරවරයකුගෙන් වෙන්ව වෙසෙන භික්ෂුවට එසේ වාසය කරන දින ගණනට ම දිනයක් පාසා ඇවැත් වේ.

සිකපද කඩ කිරීමට හා කඩවීමට විනයෙහි ව්‍යවහාර කරන නම ආපත්ති යනුයි. සිකපදය දැන, කඩ කළත් නො දැනීම නිසා කඩවුවත් ඇවැත් වේ. නො දැනීම නිදහසට කරුණක් නො වේ. විනය ශික්ෂා සියල්ල ඇත්තේ නො කළ යුත්තෙන් වැළකීමය, කළයුත්ත නො වරදවා කිරීමය යන මේ දෙකරුණ සම්බන්ධයෙනි. නො කළ යුත්ත කිරීම හා අවශ්‍යයෙන් කළ යුත්ත නො කර හැරීම යන මේ දෙකරුණෙන් ම සික පද කඩ වේ. ඇවැත් වේ.

උපසම්පදා ශීලයට අයත් අනේක සහස්‍ර‍ ශික්ෂා අතුරන් පාරාජිකා සතර උපසම්පදාවේ ශීර්ෂය බඳුය. හිස සුන් වුවහොත් ජීවිතය කෙළවර වන්නාක් මෙන් ම පාරාජිකාපත්තියට පැමිණිය හොත් එයින් උපසම්පදාව කෙළවර වේ. කඳින් වෙන් වූ හිස නැවත කඳට බද්ධ කර ජීවත් කරවීමට ක්‍ර‍මක් නැතිවාක් මෙන් පාරාජිකාපත්තියට පැමිණියකු නැවත උපසම්පන්නයකු කිරීමට ක්‍ර‍මයක් ද නැත්තේය. පාරාජිකාපත්තියට පැමිණි පුද්ගලයා නැවත උපසම්පදාව ලැබීමට නුසුදුස්සෙක් වන්නේය. “දුශ්ශීලය”යි කියනුයේ පාරාජිකාපත්තියට පැමිණියවුන්ට ය. ඔවුනට සඟසතු සෙනසුන් හා සංඝ ලාභ ද අහිමි ය. පාරාජිකාව හැර අන් කොතෙක් ඇවැත්වලට පැමිණිය ද ඒ භික්ෂුවට උපසම්පදාව ඇත්තේය. සංඝ කර්මවලට සහභාගි වීමේ අයිතිය ද ඇත්තේය. සඟසතු සෙනසුන්වල විසීමේ අයිතියක් සංඝ ලාභවල අයිතියක් ඇත්තේය.

පාරාජිකාපත්ති හැර අන් ඇවැත් දහසකට පැමිණිය ද ඒ පැවිද්දාගේ උපසම්පදාව නො නැසී පවතී. එබැවින් ඔහු භික්ෂුවක් වශයෙන් උපෝසථපවාරණාදි සංඝ කර්මයන්ට සහභාගි වීමට සඟසතු සෙනසුන්වල විසීමට සංඝ ලාභය පිළිගැනීමට සුදුස්සෙක් වේ. ජීවිත පරිත්‍යාගයෙන් සිල් රක්නා පැවිද්දකුට වුවද සිකපද නො කැඩෙන පරිදි උපසම්පදා ශීලය රැකීම දුෂ්කරය. සාමාන්‍ය පැවිද්දන් ගැන කියනුම කවරේද? ඒ බව දත් තථාගතයන් වහන්සේ විනයෙහි ඇවැත් දෙසීම ආදි සිල් පිරිසිදු කර ගන්නා ක්‍ර‍ම වදාරා ඇත්තේය. පාරාජිකාපත්තිවලට ප්‍ර‍තිකාරයක් නැත්තේ ය. එබැවින් උපසම්පදා කිරීමට අනතුරුව එතැනදී ම උපසම්පදා වූවන්හට පාරාජිකා සතර කියාදීමට විනයයෙහි නියම කර ඇත්තේය.[3] උපසම්පන්නයන් විසින් අන් සැමට ම වඩා පාරාජිකාපත්ති සතර පිළිබඳ මනා දැනුමක් ඇති කර ගත යුතුය.

ප්‍ර‍ථම පාරාජිකාව

ප්‍ර‍ථම පාරාජිකා ශික්ෂා පදය පිළිබඳව කියන්නට ඇත්තේ අසන ඇතැමුන්ට පිළිකුලක් ඇති වන්නා වූ ද, ඇතැමකුට කාමය ඇවිස්සෙන්නා වූ ද අසභ්‍ය කථාවෙකි. එහෙත් මේවා මෙසේ නො වදාළ හොත් සිකපදය නො පැනවුව හොත් ඉක්මනින් ම බුදුසස්න කෙළවර වී බොහෝ දොනට නිවන් මඟ වැසී යන බැවින් මහාකාරුණික වූ තථාගතයන් වහන්සේ ලෝකානුකම්පාවෙන් මේ අසභ්‍ය කථාව වදාළ සේක. මේවා සිනාවට ලක් කර නො ගෙන බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන අසත්වා! කියවත්වා! මෙය සමහර විට කතුන් විසින් පවා කියවිය හැකි බැවින් වඩා අසභ්‍ය කරුණු සිංහලෙන් නො කියා ඒවා පිළිබඳ පාළිපාඨ පමණක් මෙහි දක්වනු ලැබේ.

“යො පන භික්ඛූ භික්ඛුනං සික්ඛාසාජීව සමාපන්නො සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්‍යං අනාවිකත්වා මෙථුනං ධම්මං පතිසෙවෙය්‍ය අන්තමසො තිරච්ඡානගතායපි, පාරාජිකො හොති අසංවාසො.”[4]

යම් මහණෙක් විනයානුකූලව උපසම්පදාව ප්‍ර‍තික්ෂේප නොකොට උපසම්පදාවෙන් නො මිදී උපසම්පන්නයකු වශයෙන් සිටිමින් යටත් පිරිසෙයින් තිරිසන් මාගමක් සමඟ වුව ද මෛථුන සේවනයේ යෙදුණේ නම් ඒ මහණ පාරාජිකා වේ. සිල්වත් භික්ෂූන් හා සංවාසයට නුසුදුසු වේ.

පාරාජිකා වීම යනු බුදුසස්නෙහි පරාජයට පත්වීමය. පාරාජිකා වූවහුට බුදුසස්නෙහි නැවත උපසම්පදාව නො ලැබිය හැකිය. ඔහු කලක් ගිහිව සිට නැවත පැවිදි වී උපසම්පදා වුව ද ඔහුට ‘උපසම්පදාව නො පිහිටයි. ඔහු අනුපසම්පන්නයෙක් ම ය. ආනන්තර්‍ය්‍යකර්මවලින් හැර මෛථුන සේවනාදි වරදවලින් පාරාජිකාවූවන්ට එය ස්වර්ගමෝක්ෂයන්ට බාධාවක් නො වේ. ඔවුනට සාමණේරයන් වශයෙන් හෝ ගිහියන් වශයෙන් හෝ සිට පිළිවෙත් පුරා ස්වර්ගසම්පත්තිය ලැබිය හැකි ය. මඟපල ලබා නිවන් දැකිය හැකිය. පාරාජිකාවීමෙන් පසු භික්ෂුවක් වශයෙන් පෙනී සිටීම ඉමහත් වරදෙකි. එසේ කරන්නවුන්ට මඟපල නො ලැබිය හැකිය.

උපසම්පදාව ප්‍ර‍තික්ෂේප කොට අනුසම්පන්න වීමේ ක්‍ර‍ම රාශියක් විනයයෙහි දක්වා ඇත. අනුපසම්පන්න වීම ඉතා පහසුය. එය, ස්ත්‍රියකට ආරෝචනය කිරීමෙනුදු සිදු කර ගත හැකිය. රාගයෙන් තෙත්ව මත්ව මෛථුන සේවනයට සූදානම් වන භික්ෂුව “මම උපසම්පදාව ප්‍ර‍තික්ෂේප කරමිය. මෙතැන් පටන් මා අනුපසම්පන්නයකු ලෙස සැලකිය යුතුය” යි ඒ ස්ත්‍රියට කියුව හොත් එයින් ම උපසම්පදා ප්‍ර‍තික්ෂේපය සිද්ධ වේ. එසේ කොට මෙවුන්දම් සෙවුනා මහණ පාරාජිකා නො වේ. වුවමනා නම් නැවත ඔහුට උපසම්පදාව ලැබිය හැකි ය.

මනුෂ්‍ය ස්ත්‍රිය, අමනුෂ්‍ය ස්ත්‍රිය, තිරශ්චීන ස්ත්‍රිය යි ස්ත්‍රීහු තිදෙනෙකි. මනුෂ්‍ය උභතෝබ්‍යඤ්ජනකය අමනුෂ්‍ය උබතෝබ්‍යඤ්ජනකය, තිරශ්චීන උභතෝබ්‍යඤ්ජනකය යි උභතෝබ්‍යඤ්ජනකයෝ තිදෙනෙකි. මනුෂ්‍යපණ්ඩකය, අමනුෂ්‍යපණ්ඩකය, තිරශ්චීනපණ්ඩකය යි පණ්ඩකයෝ තිදෙනෙකි. මනුෂ්‍ය පුරුෂය, අමනුෂ්‍ය පුරුෂය, තිරශ්චීන පුරුෂය යි පුරුෂයෝ තිදෙනෙකි. මේ පුද්ගලයෝ දොළොස් දෙන මෛථුන පාරාජිකාවට වස්තු වෙති. වර්චස්මාර්ගය, මුත්‍ර‍මාර්ගය, මුඛමාර්ගය යි මෛථුනයට මාර්ග තුනෙකි. භික්ෂුවක් මෛථුන සේවනය කිරීමේ අදහසින් කියන ලද මාර්ග තුනෙන් කවරක හෝ පියවි සුළඟ නො වදනා තෙත් ගතිය ඇති කොටසට තමාගේ පුරුෂ නිමිත්ත තලැටක් පමණ වුව ද ඇතුළු කෙළේ නම් පාරාජිකා වේ. සේවනය කරන සිතය, මාර්ගය මාර්ගයට ඇතුළු කිරීමය කියා මේ සික පදයේ අංග දෙකකි.

“සාණත්තික සිකපදය, අනාණත්තික සිකපදය යි සිකපද දෙකොටසකි. මේ අනාණත්තික සිකපදයෙකි. තමා ම මෙවුන්දම් සෙවුමෙහි යෙදුණ හොත් මිස, අන්‍යයන් මෙවුන්දම්හි යෙදවීමෙන් පරිජි නො වේ. අන්‍ය්‍යන්ගේ පෙළඹවීමකින් හෝ බල කිරීමකින් හෝ මෙවුන්දම් සේවනය කළද භික්ෂුව පාරාජිකා වේ. මෛථුන සේවනය පිළිබඳ නොයෙක් විකාර අදහස් ඇත්තෝ ද මනුෂ්‍යයන් අතර වෙති. ඔවුහු තමන්ගේ අදහස් අනුව නොයෙක් අයථා ක්‍ර‍මවලින් ද මෛථුන සේවනයේ යෙදෙති. මේ මෛථුන පාරාජිකා කථාව සම්පූර්ණ වන්නේ ඒවා ද දැක්වීමෙනි. අසභ්‍ය බැවින් ඒවා ගැන ඇති පාළිපාඨ පමණක් මෙහි දක්වනු ලැබේ.

“භික්ඛුපච්චත්ථිකා මනුස්සිත්ථිං භික්ඛුස්ස සන්තිකෙ ආනෙත්වා වච්චමග්ගෙන අංගජාතං අභිනිසීදෙන්ති, සො වෙ පවෙසනං සාදියති, පවිට්ඨං සාදියති, ඨිතං සාදියති, උද්ධරණං සාදියති, ආපත්ති පාරාජිකස්ස.

සො වෙ පවෙසනං න සාදියති, පවිට්ඨං න සාදියති, ඨිතං න සාදියති, උද්ධරණං න සාදියති, අනාපත්ති.”[5]

“තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු පීඨකෙ නිසින්නං දාරිකං පස්සිත්වා සාරත්තො අංගුට්ඨං අංගජාතං පවෙසෙසි. සා කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි, භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං, කච්චි නු ඛො අහං පාරාජිකං ආපත්තිං ආපන්නොති. භගවතො එතමත්ථං ආරොචෙසි. භගවා එතදවොච, අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති සංඝාදිසෙසස්සාති.[6]

“තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මුදුපිට්ඨිකො හොති. සො අනභිරතියා පීළිතො අත්තනො අංගජාතං මුඛෙන අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි, භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං කච්චි නු ඛො අහං පාරාජිකං ආපත්තිං ආපන්නොති. භගවතො එතමත්ථං ආරොචෙසි. භගවා එතදවොච, ආපත්ති ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති.”[7]

“තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ලම්බි හොති. සො අනභිරතියා පීළිතො අත්තනො අංගජාතං අත්තනො වච්චමග්ගං පවෙසෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ආපත්ති ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති.”[8]

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ඉත්ථියා මෙථුනං ධම්මං පතිසෙවිස්සාමීති ඡුපිතමත්තෙ විප්පටිසාරි අහොසි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස ආපත්ති සංඝාදිසෙසස්ස.[9]

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං අන්ධවනෙ දිවාවිහාරගතො නිපන්නො හොති. අඤ්ඤතරා ගොපාලිකා පස්සිත්වා අංගජාතෙ අභිනිසීදි. සො භික්ඛු පවෙසනං සාදියි. පවිට්ඨං සාදියි. ඨිතං සාදියි. උද්ධරණං සාදියි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති.[10]

තෙන ඛො පන සමයෙන රාජගහෙ සුපබ්බා නාම උපාසිකා මුද්ධප්පසන්නා හොති. සා එවං දිට්ඨිකා හොති, යා මෙථුනං ධම්මං දෙති සා අග්ගදානං දෙතීති. සා භික්ඛුං පස්සිත්වා එතදවොච, එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවාහීති. අලං භගිනි නෙතං කප්පතීති. එහි භන්තෙ ඌරන්තරිකාය ඝට්ටෙහි, එවං තෙ අනාපත්ති භවිස්සතීති. සො තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි. අනාපත්ති භික්ඛු පාරාජිකස්ස ආපත්ති සංඝාදිසෙසස්සාති.[11]

මේ සිකපදය ගැන වැඩිදුරට කරුණු දැන ගැනීම පිණිස මේ පාඨ පාරාජිකාපාළියෙන් උපුටා යොදන ලදී.

ද්විතීය පාරාජිකාව

“යො පන භික්ඛු ගාමා වා අරඤ්ඤා වා අදින්නං ථෙය්‍යසංඛාතං ආදියෙය්‍ය යථාරූපෙ අදින්නාදානෙ රාජානො චොරං ගහෙත්වා හනෙය්‍යුං වා භන්ධෙය්‍යුං වා පබ්බාජෙය්‍යුං වා චොරොසි බාලොසි මූළ්හොසි ථෙනොසීති. තථාරූපං භික්ඛු අදින්නං ආදියමානො අයම්පි පාරාජිකො හොති අසංවාසො.”[12]

යම් මහණෙක් ගමකින් හෝ අරණ්‍යයකින් හෝ හිමියන් විසින් නුදුන් වස්තුවක් සොර සිතින් ගනී ද, යම්බඳු සොරකමක් නිසා රජහු සොරා අල්ලා ඔහුට පහර දෙත් ද බඳිත් ද රටින් නෙරපත් ද නුඹ සොරෙක බාලයෙක මුළාවූවෙක අන්සතු දෑ සඟවා ගන්නෙකැ යි නින්දා කෙරෙත් ද, එබඳු සොරකමක් කරන්නා වූ මහණ පාරාජිකා වේ. භික්ෂූන් සමග සංවාස නැත්තේ වේ.

මෛථුන සේවනය පැවිද්දන්ට පාරාජිකාවක් වුව ද ගිහියන්ට නුසුදුසු ක්‍රියාවක් නොවේ. නීත්‍යානුකූල මෛථුන සේවනයෙන් ගිහිහෝ දඬුවම් නො ලබති. නින්දා නො ලබති. අදත්තාදානය වනාහි ගිහි පැවිදි දෙපසට ම නුසුදුසු ක්‍රියාවකි. අදත්තාදානයෙන් වැළකී අවංක පුද්ගලයකු වී සිටීම භික්ෂු ශීලයේ උසස් අංගයෙකි. සොරෙක යන මේ වචනය ඉතා ලාමකය. පැවිද්දකුට ඉතා ම නුසුදුසු ය. එබැවින් පැවිද්දා විසින් හිමියන් නුදුන් තණපතකුදු සොරසිතින් නො ගන්නා ශුද්ධ පුද්ගලයකු විය යුතුය. විශ්වාසය තැබිය හැකි පුද්ගලයකු විය යුතුය. සොරසිතින් තණපතක් වුව ද ගැනීමෙන් සොරකු වන නුමුත් මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ ඉතා සුළුදෙය පාරාජිකාවස්තුව වශයෙන් නො ගෙන බිම්සර රජතුමා වැනි දැහැමි රජුන් සොරුන්ට දඬුවම් කිරීමට ගන්නා අන්තිම මිම්ම වන “පාදය” ප්‍ර‍මාණය කොට අදින්නාදාන පාරාජිකාව පනවා වදාළ සේක. මේ අදින්නාදාන පාරාජිකාව විනිශ්චය කිරීමට ඉතා දුෂ්කර සියුම් පාරාජිකාවෙකි. අදින්නාදාන පාරාජිකාවට වස්තු වන පාදය ද විනිශ්චය කිරීම දුෂ්කරය. ඇතැම් බඩුවල වටිනාකම විනිශ්චය කිරීම ද දුෂ්කරය. අදින්නාදානය සිදු විය හැකි ක්‍ර‍ම පස්විස්සක් ඇති බැවින් විනය නො දත් භික්ෂුවට නො දැනීම පාරාජිකා වන්නට ඉඩ ඇත්තේය. එබැවින් භික්ෂූන් විසින් අදින්නාදාන පාරාජිකාව පිළිබඳ විස්තර සහිත හොඳ දැනුමක් ඇති කර ගත යුතුය.

මේ සිකපදය සම්බන්ධයෙන් මුලින් දැක්විය යුත්තේ පාරාජිකාවට වස්තුවන දෙය “පාදං වා පාදාරහං වා අතිරෙක පාදං වා” යනුවෙන් පාරාජිකාපාළියෙහි පාදය හෝ පාදයක් අගනා වස්තුව හෝ පාරාජිකා වස්තුව වශයෙන් දක්වා ඇත්තේය. කහාපණ යන නම ව්‍යවහාර කරන කාසියෙන් සතරින් පංගුවට “පාදය” යි කියනු ලැබේ. ඒ පාදය මුසු පසක් බව පාරාජිකාපාළියෙහි ම දක්වා ඇත. මේ සිකපදය පනවන ලද්දේ රජගහනුවරදී ය. එබැවින් මේ පාදය ගණන් ගනු ලබන්නේ එකල රජගහනුවර භාවිත කළ මංචාඩි විස්සක් බර ඇති කහවණුවෙනි. විනය අටුවාවෙහි එයට “පෞරාණික නීලකහාපණය” යි කියා තිබේ. ඒ කාසිය කිනම් ද්‍ර‍ව්‍යයකින් තනන ලද්දක්ද යන බව විනය අටුවාවෙහි සඳහන් කර නැත. එයට නීලකහාපණය යි කියනුයේ නිල්පැහැය ඇති නිසා නොව පෞරාණික ශාස්ත්‍රානුකූලව නිර්දෝෂ ලෙස කර ඇති නිසාය. ඒ කහවණුව විමතිවිනෝදනී නම් වූ විනය ටීකාවෙහි විස්තර කර ඇත්තේ “පොරාණසත්ථානුරූපං උප්පාදිතො විසතිමාසප්පමාණ උත්තම-සුවණ්ණග්ඝනකෙලක්ඛණසම්පන්නො නීලකහාපණො”[13] යනුවෙන් මංචාඩි විස්සක් පමණ බර ඇති රන්කාසියක්ය කියාය. ඒ මතයේ සැටියට පාදය රන් මංචාඩි පසෙකි. රන්මිල කලින් කල වෙනස් වන බැවින් මේ රටේ ව්‍යවහාර කරන මුදලින් එය කොතෙක් ද යන බව කාලය අනුව විනිශ්චය කළ යුතුය.

“පඤ්ච මාසා සුවණ්ණස්ස තථා රජතස්ස දසමාසා තම්බස්සාති එතෙ වීසති මාසෙ මිස්සෙත්වා බද්ධත්ථාය වීහිමත්තලොහං පක්ඛිපිත්වා අක්ඛරානි ච හත්ථිපාදාදීනං අඤ්ඤතරඤ්ච රූපං දස්සෙත්වා කතො මිස්සකකහාපණො නාම. සොයෙව නිද්දොසත්තා නීලකහාපණො නාම”[14]

මේ පාතිමොක්ඛපදත්ථානුවණ්ණනනා නමැති ග්‍ර‍න්ථයේ එන පාඨයෙකි. රන් මංචාඩි පසක් ද රිදී මංචාඩි පසක් ද තඹ මංචාඩි දසයක් ද ගෙන තදවීම පිණිස වියැටක් පමණ යකඩ ද ගෙන මිශ්‍ර‍ කර අකුරු හා ඇත්පා ආදි රූප ද සටහන් කොට සාදන කහවණුව මිශ්‍ර‍කර්ෂාපණ නම් වේය යි ද, එය ම නිර්දෝෂ බැවින් නීලකහාපණ නම් වේය යනු ද ඒ පාඨයේ තේරුමය. එය උත්තරවිනිශ්චයටීකා මතයයි ද කියා තිබේ. ඒ මිශ්‍ර‍ කර්ෂාපණයෙන් සතරින් පංගුව වූ පාදයට වියැට දසයක් රන් ද එපමණ රිදී ද වියැට විස්සක් තඹ ද අයත්ය. මංචාඩියයි කියනුයේ මදටිය ඇටයක බරට ය. එය වියැට අටක බරය. බොහෝ විනයධරයන් පිළිගන්නේ මිශ්‍ර‍ක කර්ෂාපණයේ පාදය පාරාජිකා වස්තුව ලෙසය. රන් රිදී මිල කලින් කල වෙනස් වන බැවින් අප රටේ ව්‍යවහාර මුදලින් එය කොතෙක් ද යන බව කාලය අනුව විනිශ්චය කළ යුතුය. මෙහි විශේෂයෙන් සැලකිය යුත්තේ රන් වියැට දසයේ වටිනාකම ය. කුමක් වුව ද ඒ ඒ ප්‍රදේශවල පාවිච්චි කරන කහවණුවේ සතරින් කොටස පාරාජිකා වස්තුව ලෙස සැලකිය යුතු බවය. ශත 75 පාරාජිකා වස්තුවය යන සම්මතයක් අප රටේ ඇත. එය කෙසේ ගණන් ගැනීමක් ද නො දනිමු. රුපියල කහවණුව ලෙස ගෙන එයින් සතරෙන් පංගුව වූ ශත 25 පාරාජිකා වස්තුව යි ගන්නා බුරුම තෙරුන් වහන්සේලා ඇතහ. මෙය විනිශ්චය කිරීම දුෂ්කර ප්‍ර‍ශ්නයෙකි. දුර්භික්ෂ කාලයේ බත් පාත්‍ර‍යක් සොරාගත් භික්ෂුවත්, අඹ සොරා කෑ භික්ෂුවත් පාරාජිකා වූ බව භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇති බැවින් පාරාජිකා වස්තුව එතරම් ලොකු දෙයක් නො වන බව සැලකිය යුතු ය.

පස්විසි අවහාරය.

අදින්නාදානය සිදුකිරීමේ ක්‍ර‍ම පස්විස්සක් විනයයෙහි දක්වා ඇත්තේය. ඒ පස්විසි ආකාරයන් අතුරෙන් කිනම් ආකාරයකින් වුව ද පාදයක් අගනා අන් සතු දෙයක් ගත හොත් පරිජි වේ. මේ සිකපදය පිළිබඳ දැනීම සම්පූර්ණ වන්නේ ඒ අවහාර ක්‍ර‍ම පස්විස්ස දත හොත් ය. ඒවා නො දන්නවුන්ට සමහර විට නො දැනම පාරාජිකා විය හැකිය.

නානාභණ්ඩ පඤ්චකය, ඒකභණ්ඩ පඤ්චකය, සාහත්ථික පඤ්චකය, පුබ්බපයෝග පඤ්චකය, ථෙය්‍යාවහාර පඤ්චකය[15] කියා අවහාර ක්‍ර‍මයන් පස බැගින් වර්ග පසකට බෙදා ඇත්තේ ය.

නානාභණ්ඩ පඤ්චකය

  1. අන් සතු වස්තුව නඩු කියා අයිති කර ගැනීමය.
  2. තමා විසින් ගෙන යමින් සිටියදී සොරසිතින් ගැනීමය.
  3. තමා වෙත පරෙස්සමට තැබූ දෙය නො දී ගැනීමය.
  4. ඉරියව් වෙනස් කරවා ගැනීමය.
  5. වස්තුව තිබූ තැනින් ගැනීමය.

යන මේ පස නානාභණ්ඩ පඤ්චක නම් වේ. මේ පඤ්චකය සජීවාජීව වස්තු දෙකොටස සම්බන්ධයෙන්ම ලැබේ.

1. නඩු කියා ගැනීම.

අනුන් අයත් පන්සලක් හෝ වත්තක් කුඹුරක් හෝ අන් වස්තුවක් හෝ අයිති කර ගැනීම සඳහා භික්ෂූන් ඉදිරියේ හෝ ගිහි විනිසකරුවන් ඉදිරියේ හෝ බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කරන භික්ෂුවට දුකුළා ඇවැත් වේ. අන් තැන්වලදී බොරු කීමෙන් වන්නේ පචිති ඇවතකි. පාරාජිකාවේ පූර්වභාගය නිසා බොරු පැමිණිල්ලෙන් වන්නේ දුකුළා ඇවැතය. නඩු කියන වස්තුව බේරා ගත හැකි වේ ද නැත ද කියා වස්තු හිමිියාට සැක ඇති වූ කල්හි පැමිණිලිකරුට ථුලැසි ඇවැත් වේ. මොහු නපුරෙක මොහුගෙන් මෙය බේරා ගත නො හැකිය කියා හිමියා බලාපොරොත්තුව හළ කල්හි නඩු කියන්නාට පරිජි ඇවැත් වේ. නඩුවෙන් හිමියා පැරදුණ ද බලාපොරොත්තුව නො හළේ නම් ඒ ගැන වැඩිදුරටත් ක්‍රියා කිරීමට ඔහු බලාපොරොත්තු වේ නම් එතෙක් නඩු කියන්නා පාරාජිකා නො වේ. හිමියා බලාපොරොත්තු හළ කල්හි අල්ලස් ගෙන බොරුවට නඩු තීන්දු කළ භික්ෂූහු වෙත් නම් ඔවුහු ද පාරාජිකා වෙති. එසේ ම බොරු සාක්කි කී භික්ෂූහු වෙත් නම් ඔවුහු ද පාරාජිකා වෙති.

2. තමා විසින් ගෙන යමින් සිටින දෙය ගැනීම.

යම් මහණෙක් මම මේ භාණ්ඩය අසවල් තැනට ගෙන ගොස් දෙමියි හිමියන්ගෙන් ඉල්ලා ගෙන යන්නේ අතරමගදී එය තමා අයත් කර ගැනීමේ ආශාව ඇති වී සොරසිතින් හිස තබා සිටින භාණ්ඩය අත ගෑව දුකුළා ඇවැත් වේ. හිසෙහි තිබියදී ම එහාමෙයා කළහොත් ථුලැසි ඇවැත් වේ. කෙස් ගසක් පමණ වුව ද හිසින් එසවුවහොත් හිසෙහි බර කරට හෝ ගත හොත් පරිජි වේ. එසේ ම කරින් ගෙන යන බර අතට ගත ද අතෙහි බර බිම තැබුව ද පරිජි වේ. පසුව ඒ මහණ භාණ්ඩය හිමියාට දුන ද පාරාජිකාවෙන් නො මිදේ. මෙය අසවල් තැනට ගෙන යන්නය කියා හිමියා විසින් දෙන ලද භාණ්ඩයක් ගෙන යන කල්හි හිසෙහි බර සොර සිතින් එසවීම් ආදියෙන් ඇවැත් නො වේ. එසේ ගෙන ගිය භාණ්ඩය ගන්නා වූ මහණ පාරාජිකා වන්නේ භාණ්ඩය නො ලැබේය කියා හිමියා විසින් බලාපොරොත්තුව හළ විටය.

3. පරෙස්සමට තැබූ දෙය නො දී ගැනීම.

උපසම්පන්නයකු වෙත පරෙස්සමට තැබූ දෙයක් හිමියා ඉල්ලූ කල්හි එය ආපසු නො දෙනු පිණිස “එබඳු බඩුවක් ඔබ මෙහි තැබුවේ නැත. ඔබගේ බඩුවක් මා ගත්තේ නැහැ” යි බොරු කියන භික්ෂුවට දුකුළා ඇවැත් වේ. ඔහුගේ කථාවෙන් තමාගේ දෙය ලැබේ ද නොලැබේ ද කියා හිමියාට සැක ඇති වූ කල්හි ථුලැසි ඇවැත් වේ. “මාගේ දෙය නො ලැබේය” යි හිමියා එය ගැන බලාපොරොත්තුව හළ කල්හි පරිජි වේ. භාණ්ඩය බාරගෙන සිටි භික්ෂුව හිමියාට පීඩා කොට දෙන බලාපොරොත්තුවෙන් සිටී නම් හිමියාගේ බලාපොරොත්තුව හැරීම පමණින් පරිජි නො වේ. දෙදෙනා විසින් ම දීමේ බලාපොරොත්තු හා ලැබීමේ බලාපොරොත්තු හළ කල්හි ගත් මහණ පාරාජිකා වේ. තමා වෙත තැබූ දෙය නො සැලකිල්ල නිසා නැති වූයේ නම් අලාභය ගෙවිය යුතුය. එසේ තැබූ චීවරාදි වස්තුවක් සොරෙන් පරිභෝග කොට දිරා ගියේ හෝ ගෙවී ගියේ හෝ සම්පූර්ණයෙන් ම විනාශ වී ගියේ හෝ වේ නම් අලාභය ගෙවිය යුතුය. නො ගෙවුව හොත් පාරාජිකා විය හැකිය.

4. ඉරියව් වෙනස් කරවා ගැනීම.

බඩුවක් ගෙන ගමන් කරන කෙනකු දැක ඔහු ලවා ම බඩුව ගෙන්වා ගැනීම ඉරියව් වෙනස් කරවා ගැනීමය. බඩුව ගෙනයන්නහු ලවා ම බඩුව ගෙන්වා ගැනීම පිණිස අසවල් පැත්තට යන්නය කියා තර්ජනය කළ කල්හි බඩුව ගෙන යන තැනැත්තා සොර මහණහුගේ නියමය පරිදි ඔහු කියන මඟට එක් පයක් තැබූ කල්හි සොර මහණට ථුලැසි ඇවැත් වේ. දෙවන පය තැබූ කල්හි පරිජි ඇවැත් වේ.

සොර මහණ බඩු ගෙන යන්නහුට ළං වීමට බියෙන් ගෙන යන දෙය බිම හෙළවා ගන්නා අදහසින් තර්ජනය කොට බඩු බිම හෙළවා ගත්තේ නම් බඩුව ගෙන යන්නා අතින් ගිලිහුණු සැටියේ ම පරිජි ඇවතට පැමිණේ. අනෙකා ගෙන යන බඩුව තමාට වුවමනා දෙයක් නම් ගන්නා අදහසින් බඩුව බිම හෙළවන මහණහුට එකෙණෙහි දුකුළා ඇවැත් වේ. බිම හෙලූ බඩුව පාදයක් අගනේ නම් එය ගැනීම පිණිස අත ගෑමේදී දුකුළා ඇවැත් ද සෙලවීමේදී ථුලැසි ඇවැත් ද එසවීමේදී පරිජි ඇවැත් ද වේ. ගෙන යන බඩුව ගන්නා අදහසින් බඩු ගෙන යන්නකු ලුහු බැඳ ගොස් තර්ජනය කොට බඩු බිම හෙළවීමෙන් ද පරිජි වේ. බඩු දමා යන්නය යි නො කියා බඩු ගෙන යන්නකුට තර්ජනය කළ කල්හි හිමියා බිය වී බඩු දමා පලා ගියේ නම් මේවාට දැන් හිමියකු නැතයයි සිතා පාංශුකූල සංඥාවෙන් ඒ බඩු ගැනීමෙන් ඇවැත් නො වේ. පසුව හිමියා ඉල්ලත හොත් දිය යුතුය. නුදුන හොත් හිමියාගේ බලාපොරොත්තුව හළ කල්හි බඩු ගත් භික්ෂුවට පරිජි ඇවැත් වේ.

5. වස්තුව තුබූ තැනින් ගැනීම.

නගරයක හෝ ගමක හෝ වනයෙක හෝ ගෙයක හෝ විහාරයක හෝ පොළොව යට හෝ පොළොව මත හෝ දිය යට හෝ දිය මත හෝ නැවක හෝ රියක හෝ ගසක හෝ වැළක හෝ කිනම් තැනක වුවද ඇත්තාවූ පාදයක් හෝ එයට වැඩියෙන් හෝ අගනා අන්සතු වස්තුවක් සොර සිතින් අත ගාන මහණහුට දුකුළා ඇවැත් ද, සොලවන්නහුට ථුලැසි ඇවැත් ද, කෙස් ගසක් පමණ වුව තුබූ තැනින් ඉවත් කරන්නහුට පරිජි ඇවැත් ද වේ.

ඒකභණ්ඩ පඤ්චකය

මෙහි නානාභණ්ඩ පඤ්චකය දක්වා ඇත්තේ අවිඤ්ඤාණක වූ හෝ සවිඤ්ඤාණක වූ හෝ වස්තුවක් නඩු කියා අයිති කර ගැනීම් ආදි වශයෙනි. ඒකභණ්ඩ පඤ්චකය දක්වා ඇත්තේ අනුන් අයත් සත්ත්වයන් නඩු කීම් ආදි වශයෙන් අයිති කර ගැනීම සම්බන්ධයෙනි.

අනුන් අයත් දාසයකු හෝ ඇතකු අසකු ගවයකු හෝ අන් සත්ත්වයකු හෝ අයිති කර ගැනීම සඳහා බොරු පැමිණිලි කිරීමේදී දුකුළා ඇවැත් වේ. හිමියාට සැක කිරීමේදී ථුලැසි ඇවැත් වේ. හිමියා විසින් බලාපොරොත්තුව හළ කල්හි පරිජි ඇවතට පැමිණේ. ඉතිරි අවහාර සතර නානාභණ්ඩ පඤ්චකයේ කියන ලද පරිදි සැලකිය යුතු ය.

සාහත්ථික පඤ්චකය

  1. සාහත්ථිකාවහාරය
  2. ආණත්තිකාවහාරය
  3. නිස්සග්ගියාවහාරය
  4. අත්ථසාධකාවහාරය
  5. ධුරනික්ඛෙපාවහාරය

1. සාහත්ථිකාවහාරය

අන් සතු වස්තුව සියතින් සොරසිතින් ගැනීම සාහත්ථිකාවහාර නමි. පාදයක් හෝ එයට වැඩි මිලක් වටනා අන්සතු වස්තුවක් සොරසිතින් අග ගෑමේදී දුකුළා ඇවැත් ද, සෙලවීමේදී ථුලැසි ඇවැත් ද, ස්ථානයෙන් වෙන් කිරීමේදී පරිජි ඇවැත ද වේ.

2. ආණත්තිකාවහාරය.

අනුන් ලවා සොරකම් කරවීම ආණත්තිකාවහාර නමි. උපසම්පන්නයකු අන් උපසම්පන්නයකු ලවා පාදයක් වටනා දෙයක් සොරකම් කරවීමේදී දෙදෙනා ම පරිජි ඇවතට පැමිණේ. උපසම්පන්නයකු අසවල් දෙය සොරෙන් ගෙනෙන්නය යි උපසම්පන්නයකුට කී කල්හි ඔහු කී දෙය හැර අනිකක් සොරකම් කළ හොත් අණ කළහුට ඇවැත් නැත. සොරකම කළ භික්ෂුව පරිජි වේ. නියම කළ භාණ්ඩය ම සොරකම් කළ හොත් දෙදෙනාම පාරාජිකා වෙති.

භික්ෂුවක් අසවලා ලවා, අසවල් දෙය සොරකම් කරවන්නය යි භික්ෂුවකට කී කල්හි දුකුළා ඇවැත් වේ. ඒ භික්ෂුව සොරකම කරන භික්ෂුවට කී කල්හි ඔහුට ද දුකුළා ඇවැත් වේ. සොරකම කරන භික්ෂුව එය පිළිගත් කල්හි මූලිකයාට ථුලැසි ඇවැත් වේ. සොරකම කළ කල්හි තිදෙනාට ම පරිජි ඇවැත් වේ.

අසවල් දෙය සොරකම් කරන්නට අසවල් භික්ෂුවට කියවයි භික්ෂුවක් විසින් කී කල්හි දුකුළා ඇවැත් වේ. අණ ලැබූ භික්ෂුව වරදවා අනිකෙකුට කියා නම් කියන්නහුට දුකුළා ඇවැත් වේ. මූලිකයාට ඇවැත් නැත. එය පිළිගත හොත් සොරකම කරන්නහුට දුකුළා ඇවැත් වේ. සොරකම කළ කල්හි දෙදෙනාට ම පරිජි ඇවැත් වේ. මූලිකයා ඇවතින් මිදේ.

භික්ෂුවක් සොරකමක් කිරීමට භික්ෂුවකට කී කල්හි ඔහු ගොස් සොරකම නො කළ හැකි වී පෙරළා අවුත් ඒ බව අණ කළ මහණ හට කී කල්හි ඉඩ ලැබෙන විටෙක එය කරන්නය යි නැවත අණ කළ හොත් අණ ලැබූ භික්ෂුව සැට වසකට පසු වුවද එය කරන්නේ නම් අණ කළ භික්ෂුව එකෙණෙහි ම පරිජි ඇවතට පැමිණේ. අණ ලැබූ භික්ෂුව සොරකම කළ විටෙකදී පරිජි වේ. යම්කිසිවක් සොරකම් කරනු පිණිස එක් භික්ෂුවකට ද ඒ භික්ෂුව තවත් භික්ෂුවකට ද මෙසේ භික්ෂුවක් අන් භික්ෂූන් සියයකට වුව ද පිළිවෙළින් අණ කොට සියවැනියා සොරකම කළ හොත් සැමදෙන ම පාරාජිකා වෙති.

3. නිස්සග්ගියාවහාරය.

බඩුවක් තැනක සිට තැනකට විසි කිරීම් වශයෙන් සිදුකරන අවහාරය නිස්සග්ගියාවහාර නමි. මෙය සිදු වන්නේ එහා මෙහා ගෙන යන බඩුවලින් බදු අය කරන ස්ථානවලදී ය. භාණ්ඩවලට රජයෙන් බදු ගන්නා ස්ථානයකදී බද්ද නො ගෙවා භාණ්ඩය ගෙන යනු සඳහා බදු ගන්නා ස්ථානයේ සිට රාජපුරුෂයන්ගේ ප්‍ර‍මාදයක් බලා පාදයක් වූ හෝ පාදයකට අධික මුදලක් හෝ බදු වශයෙන් ගෙවිය යුතු භාණ්ඩයක් පිටතට දැමුයේ නම් භික්ෂුව පරිජි වේ. බදු නො ගෙවා අන් ක්‍ර‍මයකින් සඟවා බඩුවක් ගෙන ගිය ද පරිජි වේ.

මෙය පිටරට යන එන භික්ෂූන් විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණෙකි. විනය නො දත් ඇතැම් භික්ෂූහු “තමන්ගේ බඩුවට රජයට කුමට නිකම් මුදල් ගෙවන්නෙමුදැ”යි සිතා බඩු සඟවා ගෙන යාමට උත්සාහ කරති. ඒ තැන්වලදී කිනම් උපායකින් හෝ බදු නො ගෙවා තමාගේ බඩුටික මෑත් කර ගන්නට උත්සාහ කරති. එසේ කර ගන්නට ලැබීම තමන්ගේ සමත්කමක් ලෙස සිතා ඒ ගැන ආඩම්බර වෙති. එයින් තමන් පාරාජිකා වූ බව ඔවුහු නො දනිති. බදු අය කරන ස්ථානයට විනය පාළියෙහි ව්‍යවහාර කරන නාමය සුංකඝාත යනුයි. බදු නො ගෙවීම සම්බන්ධයෙන් පාරාජිකාපාළියෙහි දැක්වෙන්නේ මෙසේ ය.

“සුංකඝාතං නාම රඤ්ඤා ඨපිතං හොති. පබ්බතඛණ්ඩෙ වා නදීතිත්ථෙ වා ගාමද්වාරෙ වා අත්‍ර‍ පවිට්ඨස්ස සුංකං ගණ්හන්තූති. තත්‍ර‍ පවිසිත්වා රාජග්ඝං භණ්ඩං පඤ්චමාසකං වා අතිරේක පඤ්ච මාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො ආමසති ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති ආපත්ති ථුල්ලච්ච යස්ස. පඨමං පාදං සුංකඝාතං අතික්කාමෙති ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාරාජිකස්ස. අන්තො සුංකඝාතෙ ඨිතො බහි සුංකඝාතං පාතෙති ආපත්ති පාරාජිකස්ස. සුංකං පරිහරති ආපත්ති දුක්කටස්ස.”[16]

4. අත්ථසාධකාවහාරය.

භාණ්ඩය ගැනීමට කලින් ම පාරාජිකා වීම නමැති කාරණය සිදුවන්නා වූ අවහාරය අර්ථසාධකාවහාර නමි. භික්ෂුවක් අසවල් භාණ්ඩය ඉඩ ලැබුණු විටෙක සොරකම් කරන්නයයි අණ කල කල්හි අණ ලත් භික්ෂුව එය නො වරදවා කෙරේ නම් අණ කළ භික්ෂුව එකෙණෙහි ම පාරාජිකා වේ. අර්ථසාධක චේතනාව වනාහි එකෙණෙහි ම ඵලය ඇති කරන ලෝකෝත්තර මාර්ග චේතනාව මෙන් පාරාජිකාපත්ති සංඛ්‍යාත ඵලය එකෙණෙහි ම ඇති කරයි. අණ පිළිගත් භික්ෂුව පාරාජිකා වන්නේ සොරකම කළ දිනෙක ය. සොරකම කෙරෙන්නේ අණ කළ භික්ෂුව මළ පසු වුව ද ඔහු මැරෙන්නේ පාරාජිකා වී ය. ආණත්තිකාවහාර අත්ථසාධකාවහාර යන මේ දෙක්හි එතරම් වෙනසක් නැත. එහි වෙනස: එද එදා ඒ ඒ වෙලාවේ ම ගැනීමට අණ දීම ආණත්තිකාවහාරය ය. සැට වසකින් පසුව වුවද හැකි වූ විටෙක ගැනීමට අණ දීම අත්ථසාධකාවහාරය ය.

“තං ඛණං ඒව ගහණෙ නියුජ්ජනං ආණත්තිකප්පයොගො, කාලන්තරෙන ගහණත්ථං නියොගො අත්ථසාධකො.”[17]

5. ධුරනික්ඛෙපාවහාරය.

යම්කිසි වස්තුවක් ගැන ඇති ආශාව නමැති බර බහා තැබීම ධුරනික්ඛෙප නමි. එනම්: යම්කිසිවක් ගැන තුබූ ආශාව බලාපොරොත්තුව අත්හැරීම ය. හිමියාගේ බලාපොරොත්තුව අත් හැරීමෙන් සිදුවන අදින්නාදානය ධුරනික්ඛෙපාවහාරය ය. භික්ෂුවක් වෙත පරෙස්සමට තැබූ වස්තුවක් ආපසු නො දෙන කල්හි හිමියාගේ ධුරනික්ෂේපයෙන් භික්ෂුව පරිජි වේ. ණය නො ගෙවීමෙන් ද එසේ ම වේ. තමා විනාශ කළ අනුන්ගේ දෙයක අලාභය නො ගෙවන භික්ෂුව හිමියාගේ ධුරනික්ෂේපයෙන් පරිජි වේ.

පුබ්බයෝග පඤ්චකය

  1. පුබ්බපයෝගාවහාරය,
  2. සහපයෝගාවහාරය
  3. සංවිදාවහාරය,
  4. සංකේතකම්මාවහාරය,
  5. නිමිත්තකම්මාවහාරය,

1. පුබ්බපයෝගාවහාරය.

මෙහි පයෝග යනුවෙන් අදහස් කරන්නේ යම් කිසිවක් සිදුකරන්නේ උත්සාහය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් යම්කිසිවක් සිදු කරන බලවේගය ය. අනිකෙකුගේ අණින් බඩුවක් සොරෙන් ගැනීම සිදු වන්නේ අනිකාගේ ආඥාවය, ගන්නහුගේ උත්සාහය යන බලවේග දෙකිනි. එයින් පළමු ඇති වූ බලවේගය ආඥාවය. අණ කළහු ඇවතට පැමිණෙන්නේ ආඥාව නමැති බලවේගය නිසාය. ආඥාව නමැති බලවේගය මුලින් ඇති කොට සිදු කරන අවහාරය පුබ්බපයෝගාවහාර නම් වේ. ආණත්තිකාවහාර යන නමින් ඉහත දැක්වූ අවහාරයේත් මෙහිත් වචනවලින් මිස අර්ථ විසින් වෙනසක් නැත.

2. සහපයෝගාවහාරය.

ප්‍රයෝගසංඛ්‍යාත ගැනීමේ උත්සාහය සමග ම සිදුවන අවහාරය සහපයෝගාවහාරය ය. එය සිදුවන්නේ තමාගේ ඉඩමට යාව ඇති අනුන්ගේ ඉඩම්වලින් කොටස් සොරසිතින් තමාගේ ඉඩමඩ එකතු කරන ගන්නා අවස්ථාවල ය. පොළොව ඉතා අගනා දෙයකි. සමහර තැනක අඟලක් පමණ බිම ද පාදයක් වටිනා දෙයක් විය හැකිය. සොරසිතින් තමාගේ ඉඩමට අනුන්ගේ ඉඩමෙන් පාදයක් අගනා කොටසක් එකතු කොට මායිම් වෙන් කර ගැනීමෙන් භික්ෂුව පරිජි වේ. මායිම් වෙන් කිරීම කුඤ්ඤ ගැසීම්, වැට බැඳීම්, ලණු ඇදීම් ආදියෙන් සිදුකරති. කුඤ්ඤය ගසා අනුන්ගේ ඉඩමෙන් ටිකක් අල්ලා ගන්නහුට එය කුඤ්ඤ දෙකකින් වෙන් කරනවා නම් පළමුවන කුඤ්ඤය ගැසීමේදී ථුලැසි ඇවැත් ද, දෙවැන්න ගැසීමේදී පරිජි ඇවැත් ද වේ. කුඤ්ඤ තුනකින් වෙන් කරනවා නම් පළමු කුඤ්ඤය ගැසීමේදී දුකුළා ඇවැත් ද, දෙවැන්න ගැසීමේදී ථුලැසි ඇවැත්ද, තෙවැන්න ගැසීමේදී පාරාජිකා ද වේ. බොහෝ කුඤ්ඤ ගසා වෙන් කිරීමේදී පළමු කුඤ්ඤවලදී දුකුළා ඇවැත් වේ. අවසාන කුඤ්ඤය ළඟ කුඤ්ඤය ගැසීමේදී ථුලැසි ඇවැත් වේ. අවසාන කුඤ්ඤය ගැසීමේදී පරිජි ඇවැත් වේ.

3. සංවිදාවහාරය.

දෙදෙනකු හෝ බොහෝ දෙනකු හෝ එකතුව සමානච්ඡන්දයෙන් සොරකම් කිරීම සංවිදාවහාර නම් වේ. යම් කිසි වස්තුවක් සොරකම් කිරීමට දෙදෙනකු කතා කරගෙන ගොස් එකකු පිටත සිටියදී අනිකා ගෙය තුළට පිවිස බඩුව ගැනීමේදී ගේ තුළට පිවිසි මහණ බඩුව ඔසවනු සමඟ ම දෙදෙනා ම පාරාජිකා වේ. බොහෝ දෙනකුන් එකතුව කිරීමේදී ද එකකු බඩුව ගනු සමඟ ම හැමදෙනා පාරාජිකා වෙති. එකතුව ගත් බඩු බෙදූ කල්හි එකකුට ලැබෙන කොටස පාදයක් නො වටිතුදු සියල්ල පාදයක් අගනා බැවින් හැමදෙන ම පාරාජිකා වෙති.

4. සංකේතකම්මාවහාරය.

වෙලාවක් නියම කොට සොරකම් කරවීම සංකේතකම්මාවහාර නමි. පෙරවරුකාල පස්වරුකාලාදි කාලයන් නියම කොට ඒ කාලයේදී බඩුවක් සොරා ගෙනෙන්නට භික්ෂුවක් භික්ෂුවකට අණ කළ කල්හි අණ ලත් භික්ෂුව නියමිත කාලයේ ම එය කෙළේ නම් දෙදෙනා ම පරිජි වෙති. කාලය වරදවා කෙළේ නම් නියම කළ භික්ෂුවට ඇවැත් නැත. සොරකම් කළ භික්ෂුව පාරාජිකා වේ. සොරකම කිරීමට දින නියමයක් කොට අණ කළ කල්හි ද නියමිත දිනයේ සොරකම කළේ නම් දෙදෙනා ම පරිජි වෙති. වරදවා කෙළේ නම් ආණාපකයාට ඇවැත් නො වේ. පෙරවරුයෙහි යමක් සොරකම් කරගෙන ඒමට නියමය ලැබූ භික්ෂුව නියමිත කාලයේදී උත්සාහ කොට භාණ්ඩය ගත නොහී මඳක් පසු වී එය ගෙන ආයේ නම් කෙසේද යන ප්‍ර‍ශ්නයට පිළිතුරු දෙන මහාසුම්ම තෙරුන් වහන්සේ එය පෙරවරුයෙහි ම පටන් ගත් උත්සාහය නිසා ආණාපකයා ඇවතින් නො මිදේයයි කී බවත්, කාලය ඉක්මවා කළ බැවින් ආණාපකයා ඇවතින් මිදේය යි මහාපදුම තෙරුන් වහන්සේ වදාළ බවත් විනය අටුවාවෙහි දක්වා ඇත්තේය. මෙසේ අටුවාවල ආචාර්‍ය්‍යවාද දක්වා ඇත්තේ ඒ කරුණු අර්ථකථාචාර්‍ය්‍යයන්ට ද විනිශ්චය කළ නො හෙන නිසා ය.

5. නිමිත්තකම්මාවහාරය.

ලකුණක් කොට එය අනුව සොරකම් කරවීම නිමිත්තකම්මාවහාර නමි. සුදුසු අවස්ථාවෙහි මා සංඥා කළ කල්හි අසවල් බඩුව ගෙනෙන්නය යි භික්ෂුවක විසින් භික්ෂුවක් එහි යවා සුදුසු අවස්ථාව පැමිණි කල්හි බඩුව ගැනීම සඳහා ඇසින් හෝ අතින් පයින් හෝ යම් කිසි සංඥාවක් කරයි. එය අනුව භික්ෂුව ඒ බඩුව ගත හොත් දෙදෙනා ම පරිජි වෙති. සංඥාවට කලින් හෝ කල් පසු කර හෝ බඩුව ගත හොත් ඇණවුම් කරු ඇවතින් මිදේ. ගත් භික්ෂුව පරිජි වේ.

ථෙය්‍යාවහාර පඤ්චකය.

  1. ථෙය්‍යාවහාරය
  2. පසය්හාවහාරය
  3. පරිකප්පාවහාරය
  4. පටිච්ඡන්නාවහාරය
  5. කුසාවහාරය

1. ථෙය්‍යාවහාරය.

හිමියන්ට නො පෙනෙන නො දැනෙන පරිදි කිනම් අයුරකින් හෝ අන්සතු නුදුන් වස්තුව ගැනීම ථෙය්‍යාවහාර නමි. බඩුවක් හෝ මුදලක් හෝ අයුතු ලෙස හිමියා කැමති කරවා හිමියා අතින් ගැනීම ද අදින්නාදාන ය. ථෙය්‍යාවහාරය සිදුකිරීමේ නොයෙක් ක්‍ර‍ම ඇත්තේය. රාත්‍රියෙහි මිනිසුන් නිදන කල්හි ගෙවල පිවිස ඔවුනට නො දැනෙන ලෙස බඩු ගැනීම, හොර කාසි හොර නෝට්ටු දී බඩු ගැනීම, ආපසු දෙමිය කියා රවටා ගැනීම, රන් රිදී නො වන දෑ රන් රිදීය කියා දී මුදල් ගැනීම, මැණික් නො වන දෙයක් මැණිකකැයි දී මුදල් ගැනීම, දිරා ගිය බඩු අලුත් බඩු ලෙස දී මුදල් ගැනීම, පලුදු ඇති බඩුවල පලුදු වසා හොඳ බඩු ලෙස දී මුදල් ගැනීම, බාල බඩු උසස් බඩුය කියා දී මුදල් ගැනීම, අනුන් වෙත ඇති හොඳ බඩු බාල බඩුයයි හඟවා අඩුමිලට ගැනීම, නරක් වී ඇති ඔරලෝසු, රේඩියෝ ආදිය හොඳ ඒවා ලෙස දී මුදල් ගැනීම, පරණ බඩු අලුත් බඩු ලෙස දී මුදල් ගැනීම, අඩුවෙන් කිරා අඩුවෙන් මැන දී මුදල් ගැනීම, මුදල් අඩුවෙන් දී හොරට මැන කිරා බඩු වැඩියෙන් ගැනීම, තෙල් ගිතෙල් ආදියට අන් ද්‍ර‍ව්‍ය මිශ්‍ර‍ කොට විකුණා මුදල් ගැනීම, බොරු බෙහෙත් බොරු යන්ත්‍ර‍මන්ත්‍රාදිය කිරීමෙන් හා තවත් නොයෙක් උපායවලින් අයුතු ලෙස අන්සතු වස්තුව ගැනීම ථෙය්‍යාවහාරයට අයත්ය.

කපටිකමින් අන්සතු වස්තුව පැහැර ගැනීම සම්බන්ධයෙන් දක්වා ඇති උපමා කථාවක් මෙසේය.

මුවකු හා පැටවකු ගෙන විකිණීමට ඇවිදින වැද්දකු දැක, ධූර්තයෙක් වැද්දාගෙන් මුවන්ගෙන් මිල ඇසී ය. ලොකු මුවා කහවණු දෙකකැයි ද මුව පැටවා එක් කහවණුවකැයි ද වැද්දා කීය. ධූර්තයා කහවණුවක් දී මුව පැටවා ගෙන මඳ දුරක් ගොස් ආපසු අවුත් “මට මුව පැටවා එපා. ලොකු මුවා දෙව” යි වැද්දාට කීය. “කහවණු දෙකක් දෙව” යි වැද්දා කීය. එකල්හි ධූර්තයා “මම ඔබට කලින් කහවණුවක් දුනිමිය, අනිත් කහවණුව වෙනුවට කහවණුවක් අගනා මේ මුවපැටවා ගෙන ලොකු මුවා දෙව”යි කීය. වැද්දා රැවටී මුව පැටවා ගෙන ලොකු මුවා දුන්නේය. මේ කථායෙන් කියැවෙන්නේ ධූර්තයා වැද්දාගෙන් කහවණු දෙකක් රවටා ගත් ආකාරය ය. භික්ෂුවක් එසේ කළ හොත් පරිජි වේ.

2. පසය්හාවහාරය.

හිමියාට පීඩා කොට බලයෙන් ගැනීම පසය්හාවහාරය ය. හිමියාට පහර දී වස්තුව ගැනීමය, තර්ජනය කොට බිය ගන්වා වස්තුව ගැනීමය, උදුරා ගැනීමය, නුදුනහොත් මෙසේ ද මෙසේ ද විය හැකිය යි කියා බිය ගන්වා වස්තුව ගැනීමය යන මේවා පසය්හාවහාරයට අයත්ය.

3. පරිකප්පාවහාරය.

තමාට වුවමනා දෙය නම් ගනිමිය නො වේ නම් දමා යමිය කියා ද, පිට වී යා හැකි වුවහොත් ගෙන යමිය නො එසේ නම් දමා යමියි ද අවිනිශ්චිතව ගැනීම පරිකප්පාවහාර නම් වේ. වස්ත්‍ර‍යක් සොරා ගනු පිණිස රාත්‍රි කාලයේ අන්ධකාරයේ ගෙයකට ඇතුළුව එහි බඩු මල්ලක් හෝ පෙට්ටියක් දැක සොර සිතින් එසවුව හොත් එහි වස්ත්‍ර‍ ඇත්තේ නම් එකෙණෙහි ම භික්ෂුව පරිජි වේ. සොරා ආ බව හිමියන්ට දැනී ශබ්ද කිරීමෙන් නැවත බඩුව එහි ම දමා පලා ගිය ද ඔහු යන්නේ පාරාජිකාපත්තියට පැමිණ ය. පරීක්ෂා කර බලා එහි වස්ත්‍ර‍ නො දැක මල්ල දමා ගිය හොත් පාරාජිකාවක් නැත. මල්ල පිටත දමා ගොස් නැති වී ගියේ නම් භික්ෂුවට භණ්ඩදෙය්‍ය වේ. එනම් හිමියාට අලාභය ගෙවිය යුතු වීමය. නො ගෙවුව හොත් භික්ෂුවට පරිජි ඇවැත් වේ. පිටතට ගෙන බිම තබා මල්ල පරීක්ෂා කරනුයේ එහි අන් වටිනා බඩු දැක “මේවා ගෙන යමි”යි මල්ල ඔසවන කල්හි පරිජි ඇවැත් වේ. යමින් මල්ලෙහි වස්ත්‍ර‍ නැති බව දැන කුමක් වුවද ගෙන යමියි ඉදිරියට යන භික්ෂුව පළමු පිය තැබීමේ දී ථුලැසි ඇවැත් ද දෙවන පිය ඉදිරියට තැබීමේ දී පරිජි ඇවැත් ද වේ. භික්ෂුව විසින් මල්ල විමසන්නට පෙර ම හිමියන්ට දැනී සොරෙක සොරෙක කියා ඔවුන් ලුහු බැඳ එන කල්හි මල්ල දමා පලා ගියේ නම් හිමියන් මල්ල නො දැක ආපසු ගිය පසු භික්ෂුව අවුත් හිමියන් හැර ගිය මේ මල්ල මට ම අයිතියයි සිතා එය ගන්නේ නම් භණ්ඩදෙය්‍ය වේ. පාරාජිකා ද නො වේ. මේ භණ්ඩපරිකප්පාවහාරය සිදුවන ආකාරය ය.

ගෙයකට හෝ ගෙමිදුලකට හෝ වත්තකට හෝ පිවිසියේ එහි භාණ්ඩයක් දැක එය ගෙන අනිකෙකු දකින්නට මත්තෙන් පිට වී යා හැකි වුව හොත් ගෙන යාමටත් අනිකෙකු දුට හොත් බලන්නට ගගත්තා්තක් මෙන් එහි ම තබා යන්නට සිතා බඩුවක් අතට ගත් භික්ෂුව නියම කර ගත් තැනින් පිටත යනු සමඟ ම පරිජි වේ. බඩුව තබා ගිය හොත් පරිජි නොවේ. මේ ඕකාස පරිකප්පාවහාරය ය.

4. පටිච්ඡන්නාවහාරය.

ළිඳක් පොකුණක් වැවක් ළඟ හෝ උයනක තොටක හෝ කෙනකු විසින් උනා තබන ලද්දා වූ හෝ කෙනකු අතින් ප්‍ර‍මාදයෙන් වැටුණා වූ හෝ මුදු ආදි යම්කිසි භාණ්ඩයක් පාගා පොළොවෙහි ගිල්වා තබා හෝ වැලිවලින් කොළවලින් වසා තබා හෝ පසුව ගැනීම පටිච්ඡන්නාවහාරය ය. භික්ෂුවක් එවැනි භාණ්ඩයක් දැක පාගා පොළොවට යට කළ හොත් බඩුව තුබූ තැනින් වෙනස් කළ නිසා එකෙණෙහි ම පරිජි ඇවතට පැමිණේ. බඩුව තුබූ තැනින් නො සොලවා කොළවලින් හෝ වැලිවලින් හෝ වසා තබා හිමියන් සොයා නො දැක බඩුවේ ආශාව නො හැර පසුදින අවුත් සොයන අදහසින් හිමියන් ගිය පසු භික්ෂුව බඩුව ගත්තේ නම් පරිජි වේ. “හිමියෝ ආලය හැර ගියෝය දැන් මෙය පාංශුකූලය” යි කියා හෝ “හිමියන් හැර ගිය මේ භාණ්ඩය මට ම අයිතිය” යි කියා හෝ ගත හොත් භික්ෂුවට භණ්ඩදෙය්‍ය වේ. හිමියන් දැන අවුත් ඉල්ලා සිටිය හොත් බඩුව හෝ එහි වටිනාකම හෝ දිය යුතුය. නුදුන හොත් හිමියාගේ බලාපොරොත්තුව හැරීමෙන් භික්ෂුවට පරිජි ඇවැත් වේ. මේ ඕකාසපටිච්ඡන්නාවහාරය ය.

5. කුසාවහාරය.

කුසපත් ලා පිරිකර බෙදීමේදී ඒවා වෙනස් කොට සොරකම් කිරීම කුසාවහාරය ය. සංඝයාට ලැබී ඇති පරිෂ්කාර සමසේ බෙදිය නො හැකි කල්හි කුසපත් ලා බෙදති. යම් භික්ෂුවක් තමාට හිමි වී ඇති කොටසට වටිනාකමින් අඩුවූ හෝ වැඩි වූ හෝ සම වූ හෝ අනුන් අයත් පිරිකර කොටසක් ගනු කැමැත්තේ අනුන්නේ කොටසට දමනු පිණිස තමාගේ කොටසෙහි තුබූ කුසපත උදුරා ද එයින් පරිජි නො වේ. එය අනුන්ගේ කොටසට දමා ද එතෙකින් ද පරිජි නො වේ. ඉක්බිති අනුන්ගේ කොටසෙහි තුබූ අනුන්ගේ කුසපත උදුරා ද එකෙණෙහි පරිජි වේ.

ඉදින් තමාගේ කොටසට දමනු පිණිස පළමුවෙන් අනුන්ගේ කොටසෙහි කුසපත උදුරා ද එතෙකින් උපසම්පදාව නො නැසේ. එය තමාගේ කොටසට දමා ද එයින් ද පරිජි නො වේ. එසේ කොට තමාගේ කොටසෙහි වූ තමාගේ කුසපත උදුරා ද පරිජි නො වේ. එය අනුන්ගේ කොටසට හෙළීමේදී අතින් මිදෙනු සමඟ ම පරිජි වේ.

අනුන්ගේ කොටසක් ගනු කැමති භික්ෂුව තමාගේ කොටසෙහි හා අනිකාගේ කොටසෙහි ද වූ කුසපත් සඟවයි. අන්‍ය භික්ෂූන් තම තමන්ගේ කොටස් ගෙන ගිය පසු, “ඇවැත්නි, මාගේ කුසපත නැතය” යි කියයි. “ඇවැත්නි, මාගේ කුසපතක් නැතය” යි අනිත් භික්ෂුව කියයි. ඒ භික්ෂුව “මාගේ කොටස කවරේදැ”යි අසයි. සොර මහණ, “මේ ඔබගේ කොටසය”යි තමාගේ කොටස දක්වයි. ඒ ගැන වාද කොට හෝ නො කොට හෝ ඒ භික්ෂුව සොර මහණහුගේ කොටස ගෙන යයි. එතෙකින් ද සොර මහණහුගේ උපසම්පදාව රැකේ. ගිය භික්ෂුවගේ කොටස ගනු සමග ම සොර මහණ උපසම්පදාවෙන් පහ වේ. “මාගේ කොටස ඔබට නො දෙමි. එය තිබෙන්නට හැර ඔබගේ කොටස ගනුව”යි අනික් මහණ කී කල්හි සොර මහණ දැන දැන ම අනික් භික්ෂුවගේ කොටස ගනී නම් එය ඔසවනු සමග ම පරිජි වේ.

ඉදින් ලජ්ජි භික්ෂුව මෙය ගැන වාද කිරීමෙන් කවර ඵලයක්දැයි සිතා මෙහි වඩා හොඳ කොටස ඔබ ම ගනුවයි කියුව හොත් තමාගේ කොටස සොර භික්ෂුවට දෙන ලද්දේ වෙයි. එය ගැනීමෙන් ඇවැත් නැත.

කපටි මහණ විසින් ඔබ කැමති කොටසක් ගනුවයි කී කල්හි විවාදයට නො කැමති භික්ෂුව තමාට හිමි වී ඇති වටිනා කොටස හැර අනික් භික්ෂුවට අයත් නො වටිනා කොටස ම ගත්තේ නම් ඒ භික්ෂුව තෝරාගෙන ඉතිරි වූ කොටස ගැනීමෙන් කපටි මහණට ඇවැත් නො වේ. මෙතෙකින් පස්විසි අවාහර විස්තරය නිමියේ ය.

විශේෂ කරුණු:

මුදල් නො ගෙවා වාහනවල ගමන් කිරීම, තුන්වන පංක්ති ටිකැට්වලින් දෙවන පළමුවන පංක්තිවල ගමන් කිරීම, නොයෙක් ක්‍ර‍මවලින් වඤ්චා කොට රජයෙන් මුදල් ගැනීම, මීටර්වලට නො වැටෙන ලෙස ජලය හෝ විදුලි බලය ගැනීම, බලය නො ගෙන රේඩියෝ පාවිච්චි කිරීම, බලය නැති පරිදි වාහන පාවිච්චි කිරීම, වැඩ ගෙන කුලිය නො ගෙවීම, වැඩ නො කොට කුලිය ගැනීම, අනුන්ගේ බඩු සොරෙන් පාවිච්චි කිරීම යනාදි වඤ්චා සහගත කරුණුවලින් ද පාරාජිකා වන්නට ඉඩ ඇති බව බව සැලකිය යුතුය.

ආපත්ති අනාපත්ති විධිය.

මේ සාණත්තික සිකපදයක් බැවින් සොරකම් කරවීමෙන් ද ඇවතට පැමිණේ. උපසම්පන්නයෙක් උපසම්පන්නයකු ලවා සොරකම් කරවුව හොත් දෙදෙනා ම ඇවතට පැමිණෙති. දුකුළා ඇවැතය ථුලැසි ඇවැතය පරිජි ඇවතය යි අදින්නාදානයෙන් වන ඇවැත් තුනෙකි. සොරකමට යාම ආදි පූර්ව ප්‍රයෝගවලදී දුකුළා ඇවැත් වේ. බඩුව ස්පර්ශ කිරීමේදී ද දුකුළා ඇවැත් වේ. සෙලවීමේදී ථුලැසි ඇවැත් වේ. මස්සක් හෝ මස්සකට අඩු මිලක් හෝ වටිනා දෙය ගැනීමේදී දුකුළා ඇවැත් වේ. මස්සකට වැඩි පස් මස්සකට අඩු මිලක් වටිනා දෙයක් ගැනීමෙන් ථුලැසි ඇවැත් වේ. පස් මස්සක් හෝ එයට වැඩි ගණනක් හෝ වටිනා දෙයක් ගත පරිජි ඇවැත් වේ. තමාගේ දෙයක යන හැඟීමෙන් ගන්නහුට ද, විශ්වාසයෙන් ගන්නහුට ද, තාවකාලික වශයෙන් ගන්නහුට ද, අමනුෂ්‍යයන්ට අයත් දෑ ගන්නහුට ද, තිරිසනුන්ට අයත් දෑ ගන්නහුට ද, පාංශුකූල සංඥාවෙන් ගන්නහුට ද, උම්මත්තකාදීන්ට ද ඇවැත් නො වේ.

අදින්නාදාන පාරාජිකාවට අංග පසක් ඇත්තේ ය. මනුෂ්‍යජාතික වූ අනිකකු අයත් වස්තුවක් වීම, අනුන් අයත් දෙයක යන හැඟීම, පාදයක් හෝ එයට වැඩි මුදලක් හෝ වටිනා දෙයක් වීම, සොරසිත ඇතිවීම, කියන ලද යම්කිසි අවහාර ක්‍ර‍මයකින් වස්තු සොරා ගැනීම යනු ඒ අංග පසය. ඒ පඤ්චාංගයෙන් යුක්ත වන අදින්නාදානයෙන් පරිජි වේ. එක් අංගයකුදු අඩු වුව පරිජි නො වේ.

ආපත්ති විනිශ්චය

මෛථුන පාරාජිකාව විනිශ්චය කිරීම පහසු ය. සියුම් ලෙස අදින්නාදාන පාරාජිකාවට හසු වේ. සියුම් ලෙස ම එයට හසු නො වීම ද වේ. එබැවින් අදින්නාදානාපත්තිය පිළිබඳ අධිකරණයක් ඇති වූ කල්හි තීන්දු කිරීමට ඉක්මන් නො වී-

“වත්ථුං කාලඤ්ච දෙසඤ්ච - අග්ඝං පරිභොගපඤ්චමං

තුලයිත්වා පඤ්ච ඨානානි - ධාරෙය්‍යත්ථං විචක්ඛණො.”[18]

යනුවෙන් දැක්වෙන සොරකම් කළ වස්තුවය, සොරකම් කළ කාලයය, සොරකම් කළ දේශයය, බඩුවේ වටිනාකමය, පරිභෝග කළ නො කළ බවය යන මේ කරුණු පස ගැන මැනවින් බලා විනිශ්චය කළ යුතු ය.

විනිශ්චය කිරීමේදී වෝදිත භික්ෂුව “භාණ්ඩය සොරකම් කෙළෙමි”යි කියා නම් එය සස්වාමික වස්තුවක් ද අස්වාමික වස්තුවක් ද කියා විමසිය යුතුය. සස්වාමික වස්තූන් අතර ද හිමින්ට එපා වී “වෙන එකක් වේවා, වුවමනා කෙනෙක් ගනිත්වා”යි ආලය හැර දැමූ වස්තු ද ඇත්තේය. එබැවින් භාණ්ඩය ගත්තේ හිමියන්ගේ ආලය තුබූ කාලයේ ද හිමියන් ආලය හළ පසු ද යන වග විමසිය යුතුය. ඉදින් ඒ අවහාරය හිමියන්ගේ ආලය තුබූ කාලයේ කරන ලද්දක් නම් භාණ්ඩය වටිනාකම බලා විනිශ්චය කළ යුතුය. අවහාරය කළේ හිමියන් ආලය හැරියාට පසු කාලයේ නම් පාරාජිකාවෙන් විනිශ්චය නො කළ යුතු ය. එහෙත් ඒ භාණ්ඩය හිමියා ඉල්ලනවා නම් දිය යුතුය. මේ මෙහි සම්ප්‍ර‍දාය ය.

මේ කාරණය දැක්වීම සඳහා සමන්තපාසාදිකාවේ[19] මේ කථාව දක්වා ඇත. භාතිය රාජ කාලයේ දී දකුණු පළාතේ එක් භික්ෂුවක් සත්රියන් පඬුවන් වතක් කරෙහි ලා රුවන්වැලිමහසෑය වඳිනු පිණිස මලුවට පිවිසීය. එකෙණෙහි ම රජ ද චෛත්‍යවන්දනාවට එහි පැමිණියේ ය. රජුට ඉඩ දීම පිණිස ජනයා තෙරපෙන්නට විය. ඒ අවහිරය නිසා සෑමලුවෙන් පිට වෙද්දී භික්ෂුවගේ කරේ තුබූ ඒ වස්ත්‍ර‍ය සෑමලුවේ වැටිණ. කලබලය නිසා ඒ බව භික්ෂුවට නො දැනිණ. පිට වූ පසු කරෙහි තුබූ වස්ත්‍ර‍ය නැති බව දැන “මෙබඳු තැනක වැටුණු දෙයක් කෙසේ ලැබේදැ”යි සිතා භික්ෂුව එහි ආලය හැර ගියේ ය. පසුව ආ භික්ෂුවක් ඒ වස්ත්‍ර‍ය දැක සොරසිතින් අවුලා ගත්තේ ය. පසු කාලයේ දී ඒ මහණ එයින් තමා අශ්‍ර‍මණයකු වී යයි සිවුරු හැර යන්නට සිතා නැවත “විනයධරයන්ගෙන් අසා විනිශ්චයක් ලබා ගෙන ම යමි” යි නැවතිණ. එකල මහාවිහාරයෙහි සකලපර්‍ය්‍යාප්තිධර චූළසුමන නම් වූ විනයාචාර්‍ය්‍යවරයෙක් විසීය. වස්ත්‍ර‍ය ගත් භික්ෂුව උන්වහන්සේ වෙත ගොස් වැඳ අවසර ගෙන තමාගේ කුකුස ගැන විචාළේ ය. මහජනකාය තෙරපෙන තැනදී වස්ත්‍ර‍ය අවුලා ගත් බව ඇසූ තෙරුන් වහන්සේ “මෙහි මඳ අවකාශයක් පෙනේය”යි සිතා, “ඉදින් වස්ත්‍රයේ අයිතිකාර භික්ෂුව සොයා කැඳවා ගෙන ආව හොත් ඔබට පිහිට විය හැකි වේය”යි වදාළහ. “හිමියනි, ඒ භික්ෂුව කෙසේ සොයන්නෙම්දැයි”යි කීය. “ඒ ඒ තැන ඇවිද සොයව” යි තෙරණුවෝ කීහ. ඔහු අනුරාධපුරයේ මහාවිහාර පසෙහි ම සොයා ඒ භික්ෂුව නො දැක තෙරුන් වහන්සේට ඒ බව කීය. තෙරුන් වහන්සේ චෛත්‍යවන්දනාවට බොහෝ භික්ෂූන් එන්නේ කවර දිශාවකින් දැයි අසා දකුණුදිගිනැයි කී කල්හි එසේ නම් එහි ගොස් සොයවයි වදාළහ. ඔහු දකුණු පෙදෙසට ගොස් විහාරයෙන් විහාරයට ඇවිදින්නේ ඒ භික්ෂුව හමුවී චූළසුමන තෙරුන් වහන්සේ වෙත කැඳවා ගෙන ගියේ ය. තෙරුන් වහන්සේ “මේ කසාවත ආයුෂමතාගේදැ”යි ඇසූහ. භික්ෂුව ‘එසේය’ කීය. ‘මෙය කොහි වැටුණේදැ’යි ඇසූහ. භික්ෂුව විස්තරය කීය. මේ වස්ත්‍ර‍ය කොතැනකදී හමු වී ගත්තෙහි දැයි වස්ත්‍ර‍ය ගත් භික්ෂුවගෙන් ඇසීය. ඔහු ද සියලු විස්තරය කීය. ඉක්බිති තෙරුන් වහන්සේ කියන්නාහු හිමියා බලාපොරොත්තුව හැරදමා තුබූ මේ වස්ත්‍ර‍ය ඉදින් ශුද්ධ චිත්තයෙන් ගත්තේ නම් ඇවතක් නැත. අශුද්ධ චිත්තයෙන් ගත් නිසා ඔබට දුකුළා ඇවැත් වී ඇත. ඒ ඇවත දෙසා පිරිසිදු වී මේ වස්ත්‍ර‍ය ඔබගේ දෙයක් වශයෙන් මේ භික්ෂුවට දෙවයි කීය. වස්ත්‍ර‍ය ගත් භික්ෂුව අමෘතයෙන් අභිෂේක කරන කලෙක මෙන් අතිශයින් ප්‍රීතියට පත්විය. අධිකරණයක් ඇති වූ කල්හි මෙසේ අවහරණය කළ වස්ත්‍ර‍ය ගැන විමසා විනිශ්චය කළ යුතු ය.

සොරකම් කළ කාලය ගැන බැලිය යුත්තේ බඩුමිල කලින් කල වෙනස් වන හෙයිනි. බඩු සුලභ කාලවලදී ඒවායේ මිල අඩුය. බඩු හිඟ කාලවලදී මිල වැඩිය. කෙනකු විසින් මිල වැඩි කාලයේ වැඩිමිල ගෙවා ගෙන තුබූ බඩුව කෙනකු විසින් මිල බැස ඇති කාලයේ සොරකම් කරන ලද නම් ඒ කාලයේ පවත්නා මිල අනුව අධිකරණය විනිශ්චය කළ යුතුය. අඩුමිලට ගත් බඩුවක් බඩුමිල නැග ඇති කාලයේ සොරකම් කළ ද එකල පවත්නා මිල අනුව අධිකරණය විනිශ්චය කළයුතුය. දුර්භික්ෂ කාලයේ ආහාර මිල අධිකය. එබැවින් දුර්භික්ෂ කාලයේ සැවැත්නුවර වෙළෙන්දකුගේ සහල් මිටක් සොරකම් කළ භික්ෂුව පාරාජිකා වූයේය යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

දේශය බැලිය යුත්තේ දේශයෙන් දේශයට බඩු මිල වෙනස් බැවිනි. එක් දේශයක රුපියලක් වටිනා භාණ්ඩය තවත් දේශයක රුපියල් පහක් විය හැකිය. කෙනකු එක් දේශයකදී රුපියල් පහකට ගත් බඩුවක් වෙයි. ඒ බඩුව ම රුපියලකට ගත හැකි පෙදෙසකට ගෙන ගිය පසු එහිදී සොරකම් කළේ නම් අධිකරණය විනිශ්චය කළ යුත්තේ සොරකම් කළ දේශයේ මිලය වන රුපියල අනුවය. ඇවැත් වන්නේ මුලින් බඩුව ගත් දේශයේ මිල අනුව නො වේ.

දේශය අනුව විනිශ්චය කිරීම සම්බන්ධයෙන් විනය අටුවාවේ[20] දැක්වෙන කථාවක් මෙසේ ය. එක් භික්ෂුවක් මුහුදින් එතරදී හොඳ හැඩයක් ඇති පොල් ගෙඩියක් ලැබ එය ලියවා ලස්සන පැන් ගන්නා කැටයක් සාදා එය එහි ම තබා චේතියගිරියට ආයේ ය. මුහුදින් එතර ඒ විහාරයට ගිය අන් භික්ෂුවක් ඒ කැටය සොරසිතින් ගෙන චේතියගිරියට ම ආයේ ය. කැටය අයිති භික්ෂුව එය දැක “මෙය ඔබට කොයින් ලැබුණේදැ”යි අසා “මුහුදින් එතරින් ගෙන ආවෙමි”යි කී කල්හි “ඔබ මාගේ කැටය සොරාගෙන අවුත් ඇත” යයි ඒ භික්ෂුව සඟමැදටම කැඳවා ගෙන ගියේ ය. එහිදී විනිශ්චයක් නො ලබා ඔවුහු මහාවිහාරයට ගියහ. එහි ගොස් රැස්වීමට ගසන බෙරය ගස්වා මහසෑය සමීපයට සංඝයා රැස් කරවා විනිශ්චය ආරම්භ කළහ. විනයධර භික්ෂූහු අවහාරය දැක්වූහ. ඒ රැස්වීමෙහි සිටි ආභිධම්මික ගෝදත්ත තෙරුණුවෝ “මොහු මේ කැටය ගෙන ආයේ කොහින්දැ”යි අසා “මුහුදෙන් එතරිනැ”යි කී කල්හි “එහි මේ කැටය කොපමණ අගනේදැ”යි ඇසූ කල “එහි පොල්කැටවල වටිනාකමක් නැත, පලා මද කා කටු ඉවත ලන්නාහ. දරට හෝ ගන්නාහ”යි කීහ. “මේ භික්ෂුවගේ අත්කම කොපමණ අගීදැ”යි ඇසූ කල්හි මස්සක් හෝ එයටත් අඩු මිලක් හෝ වටීය යි කීහ. එකල්හි තෙරුන් වහ්නසේ මස්සකින් හෝ එයට අඩු ගණනකින් හෝ පාරාජිකාවක් පනවා ඇත්තේදැ යි විචාළහ. එසේ කී කල්හි අධිකරණය මැනවින් විනිශ්චය කරන ලද්දේය යි සාධුනාද පැවැත්වූහ. එකල්හි භාතිය රජතුමා චෛත්‍යවන්දනාවට යන්නේ සාධුනාදය අසා ඒ කිමෙක්දැයි විමසා සියලු පුවත් අසා ගෝදත්ත තෙරුන් වහන්සේගේ විනිශ්චයට පැහැදී “මා ජීවත් වන තාක් භික්ෂූන්ගේ ද භික්ෂුණීන්ගේ ද ගිහියන්ගේ ද අධිකරණයන් ගැන ගෝදත්ත ස්ථවිරයන් වහන්සේගේ විනිශ්චය සැමදෙන ම පිළිගත යුතු ය. උන්වහන්සේගේ විනිශ්චයෙහි නොපිහිටන්නවුන් රාජාඥාවෙන් එහි පිහිටුවමි”යි නගරයේ අණබෙර ලැවීය. ගෝදත්ත තෙරුන් විනිශ්චය කළාක් මෙන් දේශය ද බලා අධිකරණ විනිශ්චය කළ යුතු ය.

ආපත්ති විනිශ්චයේ දී අවස්ථාව අනුව අධිකරණයට ලක් වූ බඩුවේ අගය සොයා විනිශ්චය කළ යුතු ය. බඩුවල වටිනාකම සැමකල්හි සමානත්වයෙන් නො පවතී. අලුත් බඩුවේ වටිනාකම දිරීම, වියළීම, තෙත්වීම, මල බැඳීම, පැහැය වෙනස් වීම, ඉරි වැටීම, පැල්ලම් සෑදීම, සතුන් විසින් කෑම යනාදි කරුණුවලින් පිරිහේ. අලුත්පිට රුපියල් සියයක් වටිනා භාණ්ඩය කල් යාමෙන් රුපියලකුදු නො වටනා තත්ත්වයට පැමිණේ. සතුන්ගේ වනාහි වටිනාකම අඩු වැඩි වීම් දෙක ම ඇත. වැඩෙන සතාගේ වටිනාකම ශරීරය වැඩීම අනුව වැඩේ. ශරීරය පිරිහෙන සතාගේ වටිනාකම පිරිහීම අනුව පිරිහේ. බඩුවල වටිනාකම සෙවීම දුෂ්කර ය. එබැවින් අදින්නාදාන ආපත්ති විනිශ්චය ඉතා පරෙස්සමෙන් කළ යුත්තකි.

පරිභෝගයෙන් ද භාණ්ඩවල අගය පිරිහේ. පාදයකට ගත් වස්ත්‍ර‍යක් එක වරකුදු පරිභෝග කිරීමට මත්තෙන් අලුත්පිට ම සොරකම් කළහොත් පාරාජිකාපත්තියෙන් විනිශ්චය කළ හැකි ය. එක් වරක් හෝ පරිභෝග කිරීමෙන් වස්ත්‍රයේ අගය බසින බැවින් පාදයකට ගත් වරක් පරිභෝග කළ වස්ත්‍ර‍ය සොරකම් කිරීමෙන් පරිජි වීය යි නො කිය හැකි ය.

ආපත්ති විනිශ්චය දුෂ්කර කරුණෙකි. ප්‍රාතිමෝක්ෂය පාඩම් කර ඇති පමණින් හෝ එයට අර්ථ අස්වා ඇති පමණින් හෝ ආපත්ති විනිශ්චයට නො යා යුතු ය. ප්‍රාතිමෝක්ෂය පවා නො දත් ඇතැම්හු අසවල් දෙය කළොත් මෙනම් ඇවතට පැමිණේ ය කියා අසා ඇති ආරංචි අනුවත් ආපත්ති විනිශ්චයට ඉදිරිපත් වෙති. එය බලවත් වරදෙකි. ආපත්ති විනිශ්චයට බසින්නහු විසින් බැලිය යුතු කරුණු සයක් විනය අටුවාවේ මෙසේ දක්වා ඇත.

“වත්ථුං ඔලොකෙතබ්බං මාතිකා ඔලොකෙතබ්බා, පදභාජනියං ඔලොකෙතබ්බං, තිකපරිච්ඡෙදො ඔලොකෙතබ්බො. අන්තරාපත්ති ඔලොකෙතබ්බා, අනාපත්ති ඔලොකෙතබ්බා.”

ආපත්ති විනිශ්චය කළ යුතු ආකාරය

ඇවැත් විනිශ්චය කළ යුතු ආකාරය විනය අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය:- යම්කිසි වරදක් තමා අතින් සිදුවී ඒ ගැන කුකුසක් ඇති වී තීරණයක් ලබා ගැනීම පිණිස විනයධරයකු වෙත භික්ෂුවක් පැමිණ ප්‍ර‍ශ්න කළහොත් විනයධරයා විසින් කරුණ හොඳින් විමසා තේරුම් ගෙන ඉදින් එයට ඇවතක් නැත්තේ නම් ඒ බව කිය යුතුය. ආපත්තියක් වී ඇති නම් ඒ බව කිය යුතු ය. ඉදින් එය දේශනාගාමිනී ඇවැතක් නම් දේශනාගාමිනී ඇවතකැයි කිය යුතුය. වුට්ඨානගාමිනී ආපත්තියක් නම් වුට්ඨානගාමිනී ආපත්තියකැ යි කිය යුතුය.

ඉදින් පාරාජිකාවක සෙවනැල්ල පෙනේ නම් පාරාජිකා ඇවතකැයි ඉක්මනින් නො කිය යුතු ය. කුමක් හෙයින්ද? මෛථුනධර්ම ව්‍යතික්‍ර‍මණය හා උත්තරීමනුෂ්‍යධර්ම ව්‍යතික්‍ර‍මණය ඖදාරිකය. සිත ඉක්මන් බැවින් අදින්නාදාන, මනුෂ්‍ය විග්‍ර‍හ ව්‍යතික්‍ර‍මණය සියුම්ය. සියුම් ලෙසින් ම ඒ ඇවැත්වලට පැමිණේ. සියුම් ලෙස ම ඒවායින් මිදේ. එහෙයින් විශේෂයෙන් ම ඒ දෙකරුණ ගැන අසන කල්හි ඇවතක් වීයයි නො කියා ඉදින් විනයධරයාගේ ආචාර්‍ය්‍යවරයා ඇත්තේ නම් මේ කාරණය අපගේ ආචාර්‍ය්‍යයන් වහන්සේගෙන් විමසන්නය කියා යැවිය යුතුය. ඉදින් ඔහු ආචාර්‍ය්‍යවරයා වෙත ගොස් කරුණ අසා අවුත් “නුඹ වහන්සේගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ සූත්‍ර‍ අනුව ද, නය අනුව ද බලා මා පිළියම් ඇතියෙකැයි කීහ” කියුව හොත් “එසේ නම් යහපති යමක් ආචාර්‍ය්‍යයන් වහන්සේ කියන ලද නම් එසේ කරවය”යි කියා යැවිය යුතුය.

ඉදින් විනයධරයාගේ ආචාර්‍ය්‍යවරයා නැත්තේ නම් එකට උගත් තෙරනමක් ඇත්තේ නම් “අප හා එකට උගත් තෙරනමක් ඇත්තේය, උන් වහන්සේ වෙත ගොස් විමසන්නය”යි පිටත් කළ යුතු ය. උන් වහන්සේ “සතේකිච්ඡය”යි විනිශ්චය කළ සේක් නම් “උන්වහන්සේ කී ලෙස කරව”යි පිටත් කළ යුතු ය.

ඉදින් එකට උගත් තෙර නමකුදු නැත්තේ නම් උගත් ශිෂ්‍යයකු ඇති නම් “අපගේ අසවල් අතවැසියා පණ්ඩිතය, ඔහු වෙත ගොස් විචාරව”යි පිටත් කළ යුතුය. ඔහු විසින් ද “සතේකිච්ඡය”යි විනිශ්චය කළහොත් “ඔහු කී සැටියට කරව”යි පිටත් කළ යුතු ය.

ඉදින් ශිෂ්‍යයාටත් පාරාජිකා ඡායාවක් පෙනේ නම් පාරාජිකා වීයයි නො කියා “බුද්ධෝත්පාදය දුර්ලභය, පැවිද්ද හා උපසම්පදාව එයටත් වඩා දුර්ලභය, ඔබ විවේකස්ථානයකට ගොස් එතැන හැමද පිරිසිදු කරගෙන දවල් කාලයෙහි ද්වත්තිංසාකාරය සිහි කරමින් වාසය කරන්නය”යි කිය යුතුය. ඉදින් ශීලය නිරෝගව පවත්නේ නම් ඔහුට සිත වික්ෂිප්ත නො වී වචනයෙන් වචනය අරමුණෙන් අරමුණ ගැටි ගැටී එන්නේ ය. දවස ඉක්ම යාම පවා නො දැනෙන්නේ ය. යමකුගේ ශීලය බිඳී ඇති නම් කල වරද නැවත නවත සිතට එන්නට වීමෙන් සමාධියක් නො ලැබේ. වරදට පැමිණ ඇති භික්ෂුව භාවනා කොට ආ කල්හි ඔහුගේ චිත්තප්‍ර‍වෘත්තිය විමසා සුදුසු තත්ත්වයක් නැත්තේ නම් “ඇවැත්නි, පව් කරන්නාට රහසක් නැත, කළ වරද තමා දන්නේය ආරක්ෂක දෙවියෝ ද දන්නාහ. පරසිත් දන්නා ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ ද දන්නාහ. ඔබට පිහිටක් වීමට අපට ඉඩක් නැත. ඔබගේ යහපත ඔබ ම දත යුතුය” යි කිය යුතුය. මේ නිය අටුවාවේ දැක්වෙන ඇවැත් විනිශ්චය කිරීමේ ආකාරය ය.

අනුසාසනී ගාථා.

මේ විනය අටුවාවෙහි[21] ද්විතීයපාරාජිකාවර්ණනාවසානයෙහි දැක්වෙන අනුසාසනී ගාථා පෙළකි.

1. දුතියං අදුතියෙන - යං ජිනෙන පකාසිතං

පරාජිතකිලෙසෙන - පාරාජිකමිදං ඉධ

-

2. සික්ඛාපදං සමං තෙන - අඤ්ඤං කිඤ්චි න විජ්ජති,

අනෙකනයවොකිණ්ණං ගම්භීරත්ථවිනිච්ඡයං,

තේරුම:

ස්වසන්තානයෙහි මතු කිසිකලෙක නූපදනා ස්වභාවයට පැමිණවීම් වශයෙන් ලෝකෝත්තරමාර්ග ඥානය කරණකොට පරදවන ලද කෙලෙසුන් ඇත්තා වූ කිසිවකුට දෙවෙනි නො වන්නා වූ ජිනයන් වහන්සේ විසින් මෙහි යම් දෙවන පාරාජිකා සිකපදයක් පනවන ලද්දේ ද, අනේක නයින් යුක්ත වූ ගැඹුරු අර්ථ විනිශ්චය ඇත්තා වූ ඒ සිකපදයට සමාන වූ අන් කිසි සිකපදයක් නැත්තේය.

3. තස්මා වත්ථුම්හි ඔතිණ්ණෙ - භික්ඛුනා විනයඤ්ඤුනා,

විනයානුග්ගහෙනෙත්ථ - කරොන්තෙන විනිච්ඡයං

-

4. පාලි අට්ඨකථඤ්චෙව - සාධිප්පාය මසේසතො,

ඔගය්හ අප්පමත්තෙන - කරණීයො විනිච්ඡයො.

තේරුම:

එබැවින් චෝදනා කළ හැකි කරුණක් සංඝයා වෙත ඉදිරිපත් වූ කල්හි විනයානුග්‍ර‍හයෙන් එය විනිශ්චය කරන්නා වූ විනයධරයා විසින් නිරවශේෂයෙන් පෙළ හා අදහස් සහිත අටුවාවට ද බැස අප්‍ර‍මාද වූවහු විසින් විනිශ්චය කළයුතුය.

5. ආපත්තිදස්සනුස්සාහො - න කාතබ්බො කුදාචනං,

පස්සිස්සාමි අනාපත්ති - මිතිකයිරාථ මානසං.

ඇවත දැකීමේ උත්සාහයක් කිසිකලෙක නො කළ යුතුය. ඒ වස්තුව ගැන අනාපත්ති විධිය ම සොයමිය යන සිත තබා ගත යුතුය.

6. පස්සිත්වාපි ච ආපත්තිං - අවත්වාන පුනප්පුනං,

වීමංසිත්වා‘ථ විඤ්ඤුහි - සංසන්දෙත්වාව තං වදෙ.

පාරාජිකාපත්තිය දැක ද එය නො කියා නුවණැතියන්ගෙන් විමසා ඔවුන්ගේ අදහස් හා නැවත නැවත සසඳා බලා ම පාරාජිකාපත්තිය ප්‍ර‍කාශ කළ යුතුය.

7. කප්පියෙපි ච වත්ථුම්හි - චිත්තස්ස ලහුවත්තිතො,

වසෙන සාමඤ්ඤගුණා - වවන්තීධ පුථුජ්ජනා.

ගැනීමට කැප වස්තුව ගැනීමෙහි දී වුව ද වහා පෙරළෙන චිත්තයා ගේ වශයෙන් මේ ශාසනයෙහි පෘථග්ජනයෝ පාරාජිකා වී ශ්‍ර‍මණ ගුණයෙන් පහවෙති.

තමන් සතු දෙය ගන්නවාට අකමැති නො වන මාපියාදීන්ගේ වස්තුව නො ඉල්ලාම ගැනීමට කැපය. වුවමනා විටෙක ගන්නයයි කෙනකු විසින් කලින් කියා ඇති වස්තුව හිමියාට නො කියා ගැනීම ද කැපය. සිත ඉතා ඉක්මනින් පෙරළෙන්නක් බැවින් පෘථග්ජනයන්ට එබඳු ගැනීමට කැප වස්තූන් ගැනීමෙහිදී වුව ද සොර සිත ඇති විය හැකිය. මා පියන් සතු දෙය වුවද සොර සිතින් ගත පරිජි වේ.

8. තස්මා පරපරික්ඛාරං - ආසිවසමිවොරගං,

අග්ගිං විය ච සම්පස්සං - ආමසෙය්‍ය විචක්ඛණො.

එබැවින් නුවණැත්තේ අන්සතු පිරිකර දෂ්ට කළ කෙණෙහි ම මැරෙන විෂ ඇති සර්පයකු මෙන් ද, ගින්න මෙන් ද පරෙස්සමෙන් අල්ලන්නේ ය.

විනීත වස්තු.

බුදුරදුන් ජීවමාන කාලයේ භික්ෂූහු තමන්ට විනිශ්චය කර ගත නො හැකි වූ කරුණු බුදුරජාණන් වහන්සේට සැල කළහ. භාග්‍යවතුන් වහන්සේ ඒවා විනිශ්චය කළහ. ඒ විනිශ්චය වස්තූන් විනය පිටකයෙහි විනීතවත්ථු යන නාමයෙන් දක්වා ඇත්තේය. දෙවන පාරාජිකාව සම්බන්ධ විනීත වස්තු බොහෝ ගණනක් ඇත්තේය. ඒවායින් සමහරක් මෙසේය. තේරුම් ගැනීම අපහසු නො වන බැවින් පාළිය පමණක් දක්වනු ලැබේ.

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දිවා භණ්ඩං පස්සිත්වා නිමිත්තං අකාසි, රත්තිං අවහරිස්සාමීති, සො තං මඤ්ඤමානො තං අවහරි. -පෙ- තං මඤ්ඤමානො අඤ්ඤං අවහරි. අඤ්ඤං මඤ්ඤමානො තං අවහරි. අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං අවහරි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති.[22]

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දිවා භණ්ඩං පස්සිත්වා නිමිත්තං අකාසි, රත්තිං අවහරිස්සාමීති. සො තං මඤ්ඤමානො අත්තනො භණ්ඩං අවහරි. තස්ස කුක්කුච්චං අහොසි. අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති දුක්කටස්සාති.[23]

තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛු ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තා ව්‍යග්ඝවිඝාසං පස්සිත්වා -පෙ- දීපිවිඝාසං පස්සිත්වා තරච්ඡවිඝාසං පස්සිත්වා කොකවිඝාසං පස්සිත්වා පචාපෙත්වා පරිභුඤ්ජිංසු. තෙසං කුක්කුච්චං අහොසි. -පෙ- අනාපත්ති භික්ඛවෙ තිරච්ඡානාගතපරිග්ගහෙති.[24]

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සංඝස්ස ඔදනෙ. භාජියමානෙ අපරස්ස භාගං දෙහීති අමූලකං අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි. අනාපත්ති භික්ඛු පාරාජිකස්ස ආපත්ති සම්පජානමුසාවාදෙ පාචිත්තියස්ස.2

තෙන ඛො පන සමයෙන ද්වේ භික්ඛු සහායකා හොන්ති. එකො භික්ඛු ගාමං පිණ්ඩාය පාවිසි. දුතියො භික්ඛු සංඝස්ස ඛාදනීයෙ භාජියමානෙ සහායකස්ස භාගං ගහෙත්වා තස්ස විස්සන්තො පරිභුඤ්ජි. සො ජානිත්වා තං චොදෙසි අස්සමණොසි ත්වන්ති. තස්ස කුක්කුච්චං අහොසි, භගවතො එතමත්ථං ආරොචෙසි. කිං චිත්තො ත්වං භික්ඛුති? විස්සාසගාහී අහං භගවාති. අනාපත්ති භික්ඛු විස්සාසගාහෙති.[25]

තෙන ඛො පන සමයෙන අම්බචොරකා අම්බං පාතෙත්වා භණ්ඩිකං ආදාය අගමංසු. සාමිකා තෙ චොරෙ අනුබන්ධිංසු. චොරකා සාමිකෙ පස්සිත්වා භණ්ඩිකං පාතෙත්වා පලායිංසු. භික්ඛු පංසුකූලසඤ්ඤිනො පටිග්ගාහාපෙත්වා පරිභුඤ්ජිංසු. සාමිකා තෙ භික්ඛු චොදෙසුං අස්සමණාත්ථ තුම්හෙති. තෙසං කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං අරොචෙසුං. කිං චිත්තා තුම්හෙ භික්ඛවෙති? පංසුකූලසඤ්ඤිනො මයං භගවාති. අනාපත්ති භික්ඛවෙ පංසුකූලපඤ්ඤිස්සාති.[26]

තෙන ඛො පන සමයෙ අම්බචොරකා, අම්බං පාතෙත්වා භණ්ඩිකං ආදාය අගමංසු. සාමිකා තෙ චොරකෙ අනුබන්ධිංසු. චොරකා සාමිකෙ පස්සිත්වා භණ්ඩිකං පාතෙත්වා පලායිංසු. භික්ඛු පුරෙ සාමිකා පස්සන්තීති ථෙය්‍යචිත්තා පරිභුඤ්ජිංසු. සාමිකා තෙ භික්ඛු චොදෙසුං. අස්සමණාත්ථ තුම්හෙති. තෙසං කුක්කුච්චං අහොසි. ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජිකන්ති.1

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සංඝස්ස අම්බං ථෙය්‍යචිත්තො අවහරි. සංඝස්ස ජම්බුං, සංඝස්ස ලබුජං, සංඝස්සතාලපක්කං, සංඝස්ස උච්ඡුං, සංඝස්ස තිබ්බරූසකං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි. ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්තිං1

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සත්ථෙන සද්ධිං අද්ධානමග්ගපටින්නො හොති. අඤ්ඤතරො පුරිසො තං භික්ඛුං ආමිසෙන උපලාපෙත්වා සුංකට්ඨානං පස්සිත්වා මහග්ඝං මණිං තස්ස භික්ඛුනො අදාසි, ඉමං මෙ භන්තෙ මණිං සුංකට්ඨානං අතික්කාමෙහී ති අථ ඛො සො භික්ඛු තං මණිං සුංකට්ඨානං අතික්කාමෙසි. තස්ස කුක්කුච්චං අහොසි. ආපත්ති ත්වං භික්ඛු ආපන්නො පාරාජිකත්නි.1

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පාසෙ බද්ධං සූකරං කාරුඤ්ඤෙන මුඤ්චි, තස්ස කුක්කුච්චං අහොසි. කිං චිත්තො ත්වං භික්ඛුති? කාරුඤ්ඤාධිප්පායො අහං භගවාති. ආනාපත්ති භික්ඛු කාරුඤ්ඤාධිප්පායස්සාති.[27]

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පාසෙ බද්ධං සූකරං පුරෙ සාමිකා පස්සන්තීති ථෙය්‍යචිත්තො මුඤ්චි. තස්ස කුක්කුච්චං අහොසි. ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති.[28]

තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛු සංවිදහිත්වා අගමංසු, භණ්ඩං අවහරිස්සාමාති. එකො භණ්ඩං අවහරි. තෙ එවමාහංසු, න මයං පාරාජිකා, යො අවහටො සොව පාරාජිකොති. භගවතො එතමත්ථං ආරොචෙසුං, ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නො පාරාජිකන්ති[29]

තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛු සංවිදහිත්වා භණ්ඩං අවහරිත්වා භාජෙසුං. තෙහි භාජියමානෙ එකමෙකස්ස පටිවිංසො න පඤ්චමාසකො පූරි. තෙ එවමාහංසු. න මයං පාරාජිකා ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජිකන්ති.[30]

තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං දුබ්භික්ඛෙ ආපණිකස්ස තණ්ඩුලමුට්ඨිං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි. ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති.4

තෙන ඛො පන සමයෙන ආගන්තුකා භික්ඛු සංඝස්ස අම්බං භාජෙත්වා පරිභුඤ්ජිංසු. ආවාසිකා භික්ඛු චොදෙසුං අස්්සමණාත්ථ තුම්හෙති. භගවතො එතමත්ථං ආරොචෙසුං. කිං චිත්තා තුම්හෙ භික්ඛවෙති? පරිභොගත්ථා මයං භගවාති. අනාපත්ති භික්ඛවේ පරිභොගත්ථායාති.[31]

තෙන ඛො පන සමයෙන රාජගහෙ ථුල්ලනන්දාය භික්ඛුණියා අන්තෙවාසිකා භික්ඛුණි ථුල්ලනන්දාය භික්ඛුණියා උපට්ඨාකකුලං ගන්ත්වා අය්‍යා ඉච්ඡති මධුගොලකං ඛාදිතුන්ති පචාපෙත්වා හරිත්වා අත්තනා පරිභුඤ්ජි. සා ජානිත්වා තං චොදෙසි අස්සමණි ත්වන්ති. තස්සා කුක්කුච්චං අහොසි. අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස ආපත්ති සම්පජානමුසාවාදො පාචිත්තියස්සා ති.”[32]

ලාභ පරිණාමනය.

ලාභපරිණාමනය යනු කෙනකු විසින් අනිකකුට දීමට බලාපොරොත්තු වන අනිකකුට ලැබෙන්නට යන ලාභයක් තමාට හෝ අනිකකුට හෝ හැරවීමය. මෙය ද අදින්නාදානයට ආසන්න කරුණෙකි. එහෙත් එයින් කුඩා ඇවැත් සිදුවනු මිස පාරාජිකා නො වේ. ලාභ පරිණාමනය පිළිබඳ ඇති සිකපද මෙසේ ය.

“යො පන භික්ඛු ජානං සංඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං.”[33]

යම් මහණෙක් කෙනකු විසින් සංඝයාට දීමට බලාපොරොත්තු වන එහෙයින් ම සංඝයාට අයත් වූ චීවරාදි යම්කිසි වස්තුවක් දැන දැන ම තමාට හරවා ගනී නම් නිසගිපචිතියක් වේ.

යටත් පිරිසෙයින් සිය මව වුව ද මෙය සංඝයාට දෙමිය පුදමිය කියා සංඝයාට පිරිනමා ඇති වස්තුවක් ඒ බව දැන දැන ම මෙය මට දෙන්නය කියා ලබා ගත හොත් නිස්සග්ගිය පාචිත්තිය නම් ඇවැතක් වේ. පාචිත්තියය- නිස්සග්ගිය පාචිත්තියය කියා ඇවැත් දෙවර්ගයක් ඇත්තේ ය. පාචිත්තියා පත්තියෙන් ඇවැත් දෙසීමෙන් පිරිසිදු විය හැකි ය. නිස්සග්ගිය පාචිත්තියෙන් එසේ පිරිසිදු නො විය හැකිය. එයින් පිරිසිදු විය හැක්කේ නුසුදුසු ලෙස ලත් ඒ වස්තුව සංඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයකුට හෝ නිස්සර්ජනය කොට ඇවත දෙසීමෙනි. නිස්සර්ජනය කිරීම යනු දීමය. වස්තුව තබාගෙන ඇවැත් දෙසුව ද ඇවතින් පිරිසිදු නො වේ. සංඝයාට පිරිනැමූ දෙය තමාට හරවා ගැනීමෙන් වූ ඇවත එක් පුද්ගලයකු සමීපයේ දෙසිය යුත්තේ මෙසේය. ඒ නිස්සග්ගිය වස්තුව ගෙන භික්ෂුවක් වෙත ගොස් සිවුර ඒකාංශ කොට පෙරවා වැඩිමහල්ලකු නම් ඒ භික්ෂුවගේ පා වැඳ උක්කුටිකව හිඳ මෙසේ කියා ඒ වස්තුව නිස්සර්ජනය කළ යුතුය.

“ඉදං මෙ භන්තෙ ජානං සංඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමිතං නිස්සග්ගියං ඉමාහං ආයස්මතො නිස්සජ්ජාමි.”[34]

මේ වාක්‍යය කියා වස්තුව ඒ භික්ෂුව අතට දිය යුතුය. ඉක්බිති ඒ භික්ෂුව සමීපයෙහි ඇවත දෙසිය යුතුය. ඉන්පසු නිස්සග්ගිය වස්තුව පිළිගත් භික්ෂුව විසින් “ඉමං ආයස්මතො දම්මි” යි කියා එය ආපසු දිය යුතුය. ඉන්පසු ඒ භික්ෂුවට එය පරිභෝග කිරීම කැපය. මේ නිස්සජ්ජනය විනයකර්මයක් මිස අයිතියට දීමක් නො වේ. පිළිගත් භික්ෂුව මෙය මට දුන්නේය යි සිතා ආපසු නුදුන හොත් ඔහුට දුකුළා ඇවැත් වේ. වටිනා වස්තුවක් නම් මෙය මට නො ලැබේය කියා පළමු භික්ෂුවගේ බලාපොරොත්තුව අත්හැරීමෙන් පාරාජිකා ද විය හැකිය.

“යො පන භික්ඛු ජානං සංඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙය්‍ය පාචිත්තියං.”[35]

යම් මහණෙක් කෙනකු විසින් සංඝයාට දීමට බලාපොරොත්තු වන එහෙයින් ම සංඝයාට අයත් ලාභයක් දැන දැන ම පුද්ගලයකුට පිරිනමා නම් පචිති ඇවතක් වේ.

පරිෂ්කාර වැඩි ගණනක් ඇති තැනකින් එකක් තමා ගෙන අනිකකුට අනිකක් දෙවුව හොත් නිස්සග්ගිය පාචිත්ති ඇවතක් හා ශුද්ධපාචිත්ති ඇවතක් වෙයි. එක් විහාරයක සංඝයාහට දීමට බලාපොරොත්තු වන දෙය අනික් විහාරයක සංඝයාට හෝ චෛත්‍යයකට හෝ දෙවුව දුකුලා ඇවැත් වේ. එක් චෛත්‍යයකට පිදීමට බලාපොරොත්තු වන දෙය අන්‍ය චෛත්‍යයකට හෝ සංඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයකුට දෙවුව දුකුළා ඇවැත් වේ. පුද්ගලයකුට දීමට බලාපොරොත්තු වන දෙය අන්‍ය පුද්ගලයකුට හෝ ගණයාට හෝ සංඝයාට හෝ චෛත්‍යයට හෝ දෙවුව දුකුළා ඇවැත් වේ. යටත් පිරිසෙයින් එක් සුනඛයකුට දෙන්නට යන දෙය වළකා එය අන් සුනඛයකුට දෙවුව ද දුකුළා ඇවැත් වේ.

බඩු සැඟවීම.

ඇතැම්හු විනෝදය පිණිසත්, ඊර්ෂ්‍යාව නිසාත්, නිකම්ම අනුන්ට කරදර කරනු පිණිසත් අනුන්ගේ බඩු සඟවති. එය ද පාරාජිකාවට ආසන්න ක්‍රියාවෙකි.

“යො පන භික්ඛු භික්ඛුස්ස පත්තං වා චීවරං වා නිසීදනං වා සූචිඝරං වා කායබන්ධනං වා අපනිධෙය්‍ය වා අපනිධාපෙය්‍ය වා අන්තමසො හස්සාපෙක්ඛොපි පාචිත්තියං.”[36]

යම් භික්ෂුවක් භික්ෂුවකගේ පාත්‍ර‍ය හෝ සිවුරක් හෝ නිසීදනය හෝ ඉඳිකටුගුළාව හෝ පටිය හෝ සඟවා නම් හෝ අනුන් ලවා සඟවවා නම් හෝ යටත් පිරිසෙයින් ක්‍රීඩා පිණිස වුවද කෙරේ නම් පචිති ඇවැත් වේ.

භික්ෂුවකගේ අන් පිරිකරක් සැඟවුව දුකුළා ඇවැත් වේ. අනුපසම්පන්නයකුගේ පිරිකර සැඟවුව ද දුකුළා ඇවැත් වේ. නො තැන්පත් අනුන්ගේ පිරිකර ගෙන තැන්පත් කිරීමෙන් ඇවැත් නොවේ.

දුන් දෙය නැවත පැහැර ගැනීම.

ඇතැමෙක් පක්ෂ කරවා ගැනීම සඳහා ද, වැඩ කරවා ගැනීම සඳහා ද, අන්‍යයන්ට යම් යම් දේ දී පසුව විරුද්ධ වී ඒවා පැහැර ගනිති. දුන් පසු ඒ දෙය ලැබූ තැනැත්තාට අයිතිය. අනුන් අයත් දෙයක් පැහැර ගැනීම පාරාජිකාවට හේතුවන කරුණක් වුව ද දී පැහැර ගන්නවුන් එය කරන්නේ තමාගේ දෙය ගනිමිය යන අදහසින් ය. එබැවින් එසේ කිරීමෙන් අදින්නාදාන පාරාජිකාවෙන් පරිජි නො වේ. එහෙත් දී නැවත පැහැර ගැනීම ලාම ක්‍රියාවෙකි. එසේ කිරීමෙන් භික්ෂූන්ට ඇවැත් වේ.

“යො පන භික්ඛු භික්ඛුස්ස සාමං චීවරං දත්වා කුපිතො අනත්තමනො අච්ඡින්දෙය්‍ය වා අච්ඡින්දාපෙය්‍ය වා නිස්සග්ගියං පාචිත්තියං.”[37]

යම් භික්ෂුවක් භික්ෂුවකට තෙමේ ම සිවුරක් දී කිපියේ නො සතුටු සිත් ඇත්තේ පැහැර ගන්නේ හෝ පැහැර ගැන්වූයේ හෝ වේ නම් ඒ මහණහට නිසගිපචිති වේ.

ඒ ඇවතින් පිරිසිදු වීමට “ඉදං මෙ භන්තෙ චීවරං භික්ඛුස්ස සාමං දත්වා අච්ඡින්නං නිස්සග්ගියං ඉමාහං ආයස්මතො නිස්සජ්ජාමි” යි කියා භික්ෂුවකට නිස්සජ්ජනය කොට ඇවත දෙසා ගත යුතු ය. අන්‍ය පරිෂ්කාරයක් දී පැහැර ගත දුකුළා ඇවැත් වේ. අනුපසම්පන්නයකුට කුමක් හෝ දී පැහැර ගත ද දුකුළා ඇවැත් වේ.

විශ්වාසයෙන් ගැනීම.

විශ්වාසයෙන් ගත යුත්තේ, ගන්නවාට විරුද්ධ වන්නේ නැත කැමති වන්නේය කියා තමා විශ්වාස කරන මිත්‍ර‍යන්ගේ වස්තුය. ජීවතුන් අතර නැති මළ අයගේ වස්තූන් විශ්වාසයෙන් නො ගත යුතුය. කුමක් හෙයින් ද? මළ අයගේ වස්තුව උරුමක්කාරයන්ට මිස ඔවුනට අයිති නැති බැවිනි. ගන්නවාට අයිතිකරු විරුද්ධ වන්නේ නැතය සිතා විශ්වාසයෙන් යමක් ගත ද අයිතිකරු ආපසු ඉල්ලත හොත් දිය යුතුය. “මාගේ දෙයින් වුවමනා දෙයක් වුවමනා විටෙකදී ගන්නය” යි කියා ඇති මිත්‍ර‍යකුගේ දෙයක් ගත් කල්හි ඔහු එයට කැමති නො වී ආපසු ඉල්ලුව ද නො දීමෙන් ඇවතක් නො වේ. විශ්වාසයාගේ දෙය වුව ද ඔහු නැති අවස්ථාවක් බලා ඔහුට නො දැනෙන ලෙස සොර සිතින් ගත පරිජි වේ. පෘථග්ජන සිත වෙනස්වන සුළුය. විශ්වාසයාගේ දෙය ගැනීමේදී සොරසිත ඇති විය හැකිය. සමහරු මා ගත් බව දැන ගත ද විරුද්ධ වන්නේ නැත යන හැඟීම හිමියාට නො දැනෙන ලෙස අනුන්ගේ බඩු ගනිති. එසේ ගැනීම විශ්වාසයෙන් ගැනීම ද සොර සිතින් ගැනීම ද කියා තේරුම් ගැනීම දුෂ්කර වේ. ඒ නිසා උපසම්පන්නයන්ට මාපිය්නගේ හා ආචාර්‍ය්‍යයන්ගේ වස්තුව වුව ද නො කියා විශ්වාසයෙන් ගැනීමෙන් වැළකී විසීම ම යහපති.

හිමියන් ළඟ නැති විට ඔවුනට නො දන්වා යම්කිසි භාණ්ඩයක් පසුව දෙන අදහසින් තාවකාලික වශයෙන් ගැනීමෙන් ඇවතක් නැත. එහෙත් එය ආපසු දිය යුතුය. හිමියන් විසින් නුදුන්නාට වරද නැත, ඒ දෙය ඔබ ගනුවයි කියුව හොත් නො දීමෙන් වරද නැත. සඟසතු දෙයක් තාවකාලික වශයෙන් ගතහොත් දිය යුතුමය.

තෘතීය පාරාජිකාව

“යො පන භික්ඛු සංචිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙය්‍ය සත්ථහාරකං වාස්ස පරියෙසෙය්‍ය මරණවණ්ණං වා සංවණ්ණෙය්‍ය මරණාය වා සමාදපෙය්‍ය, අම්හො පුරිස කිං තුය්හිමිනා පාපකෙන දුජ්ජීවිතෙන මතන්තෙ ජීවිතා සෙය්‍යොති. ඉති චිත්තමනො චිත්තසංකප්පො අනෙකපරියායෙන මරණවණ්ණං වා සංවණ්ණෙය්‍ය මරණාය වා සමාදපෙය්‍ය අයම්පි පාරාජිකො හොති අසංවාසො.”[38]

යම් මහණෙක් මොහු මරමියි සිතා මනුෂ්‍ය ශරීරයක් ජීවිතයෙන් තොර කෙරේ ද මේවා ගෙන දිවි නසා ගනීවායි සමීපයෙහි ආවුධ හෝ තබා ද, මරණයේ ගුණ හෝ වර්ණනා කෙරේ ද, මෙසේ මැරෙන්නයයි මැරෙන ක්‍ර‍ම කියා ද, “එම්බා පුරුෂය, නුඹට ලාමක වූ මේ දුක් ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද? නුඹට ජීවත් වීමට වඩා මරණය ම උතුම් ය. එබඳු සිත් ඇත්තේ එබඳු අදහස් ඇත්තේ නොයෙක් ආකාරයෙන් මරණයේ ගුණ හෝ වර්ණනා කෙරේ ද, දිවි නසා ගැනීමේ උපාය හෝ කියා දේ ද මේ මහණ තෙමේ ද පාරාජිකා වූයේ වේ. සිල්වත් භික්ෂූන් හා සංවාස නැත්තේ වේ.

මේ සිකපදයෙහි මනුෂ්‍ය ශරීරය යනුවෙන් අදහස් කරන්නේ මවුකුස පළමුවෙන් ම පහළ වන කළල රූපයේ පටන් මරණය තෙක් පවත්නා ශරීරය ය. ඔසප්වීමට බෙහෙත් යෙදීම් ආදියෙන් කලලරූපය නැසුව ද පාරාජිකා වේ. මේ සිකපද හොඳින් තේරුම් ගත හැකි වීමට ප්‍රාණඝාතය සිදු කිරීමේ ක්‍ර‍ම දත යුතුය. ඒවා විනය ග්‍ර‍න්ථයන්හි “පයෝග” යන නාමයෙන් දක්වා ඇත.

සාහත්ථිකො ආණත්තිකො - නිස්සග්ගියො ච ඡාවරො,

විජ්ජාමයො ඉද්ධිමයො - පයොගා ඡබ්බිධා මතා[39]

සාහත්තිකපයෝගය, ආණත්තිකපයෝගය, නිස්සග්ගියපයෝගය, ථාවරපයෝගය, විජ්ජාමයපයෝගය, ඉද්ධිමයපයෝගය යි ප්‍රයෝග සයෙකි.

සාහත්ථිකපයෝග යනු තමාගේ අතින් පයින් හෝ අතට ගත් දඬු මුගුරු කඩු ආදියකින් හෝ පහර දීමය. මරණයේ ගුණ වර්ණනා කිරීම ද එයට අයත් වේ.

ආණත්තිකපයෝගය යනු ගසා හෝ කපා කොටා හෝ මරව” යි අනිකකුට අණ කිරීමය.

නිස්සග්ගියපයෝගය යනු දුර සිටින්නවුන් මැරීම සඳහා ගල් හී වෙඩි උණ්ඩ බෝම්බ ආදිය අතින් මුදා යැවීමය.

ථාවරපයෝගය යනු මරණු පිණිස වළ කැණීම් උගුල් ඇටවීම් ආදියය.

විජ්ජාමයපයෝගය යනු සූනියම් ආදි ගුරුකම් කිරීම ය.

ඉද්ධිමයපයෝගය යනු උපතින් ම පිහිටා ඇති සෘද්ධි බල සත්ත්වයන් මැරීම සඳහා යෙදවීම ය. ඇතැම් සත්ත්වයන්ට සත්ත්වයන් මැරීමට යොදා ගත හැකි සෘද්ධි, කර්ම බලයෙන් උපතින් ම පිහිටා ඇත්තේ ය. ඒවා බෙහෙවින් ඇත්තේ අමනුෂ්‍යයන්ට ය. සමහර මිනිසුන්ට ද ඇත්තේ ය. මැරීම සඳහා සෘද්ධිය යෙදවීම ඉද්ධිමය පයෝගය ය. විජ්ජාමය ඉද්ධිමය පයෝග දෙක අටුවාවල මිස විනය පාළියෙහි දක්වා නැත.

සාහත්ථික නිස්සග්ගිය පයෝග දෙක්හි විස්තර

අතින් පයින් පොලුවලින් කැතිවලින් පිහිවලින් කිණිසිවලින් කඩුවලින් පහරදීම වූ සාහත්ථික ප්‍රයෝගය: ගල් ගැසීම් ගල් පෙරළීම් පොලු දමා ගැසීම් බෝම්බ ගැසීම් වෙඩි තැබීම් ආදි වශයෙන් පවත්වන නිස්සග්ගිය ප්‍රයෝගයය යන මේ දෙකින් එකෙකක් උද්දිස්සකය අනුද්දිස්සකය යි දෙපරිදි වේ. උද්දිස්සක යනු පහර දෙන්නේ අසවලාටය කියා නියමයක් ඇතිව පහරදීම ය. අනුද්දිස්සක යනු කවරෙක් හෝ මැරේවායි නියමයක් නැතිව පහරදීම ය. නියමයක් ඇතිව පහර දීමේදී නියමිත පුද්ගලයාගේ මරණයෙන් ම පාරාජිකා වේ. අනියමින් පහර දීමේදී මනුෂ්‍ය වූ කවරෙක් මළ ද පාරාජිකා වේ. මැරීමට පහර දුන් කල්හි පහර කෑ පුද්ගලයා ඒ ආබාධයෙන් විසි තිස් වසරකට පසුව වුව ද මැරේ නම් පහර දුන් භික්ෂුව එකෙණෙහි ම පාරාජිකා වේ. පහර ලැබූ තැනැත්තා මැරෙන්නට පෙර පහර ලැබූ භික්‍ෂුව මළ ද ඔහු මැරෙන්නේ අශ්‍ර‍මණයෙකු වශයෙනි. පහර කෑ අය ප්‍ර‍තිකාර නො ලද හොත් මැරෙන්නා වූ ද ප්‍ර‍තිකාර ලද හොත් නො මැරෙන්නා වූ ද පහරවල් ඇත්තේය. එබැවින් පහර දීමෙන් වන පාරාජිකාව විනිශ්චය කිරීම දුෂ්කරය. වනයේදී ගෝනකුට හෝ මුවකුට තැබූ වෙඩිපහර ඌට නො වැදී දුර සිටි මිනිසකුට වැදී ඔහු මළ ද වෙඩි තැබූ භික්ෂුව පාරාජිකා නො වේ. එක් මිනිසකු මරන්නට තැබූ වෙඩිල්ලෙන් අනිකකු මළ ද පාරාජිකා නො වේ. කවරෙක් හෝ මැරේවායි අනියමින් තැබූ වෙඩිල්ලෙන් කවර මිනිසකු මළ ද පාරාජිකා වේ. අටුවාවෙහි ඒළකචතුෂ්කාදියෙන් මේ කරුණ පැහැදිලි කර තිබේ.

ඒළකචතුෂ්කය මෙසේය. භික්ෂුවක් එළුවකු නිදන තැන දවල් කාලයේ බලාගෙන රාත්‍රිකාලයේ ඌ මැරීමට ගොස් පහර දුන් කල්හි එහි ඔහුගේ මව හෝ පියා හෝ නිදා සිට ඒ පහරින් මළේ නම් ඔහුට පාරාජිකාපත්තිය හා ආනන්තර්ය කර්මය ද වේ. එහි අන් මිනිසෙක් සිට පහර වැදී මළේ නම් පාරාජිකාපත්තිය පමණක් වේ. අමනුෂ්‍යයෙක් එහි සිට ඒ පහරින් මළේ නම් ථුලැසි ඇවැත් වේ. එහි බලාපොරොත්තු වන එළුවා ම සිට මළේ නම් පචිති ඇවැත් වේ. එළුවා මැරීමටය කියා යන තැනැත්තා එළුවකු මැරීමට අදහස් කරගෙන සිටියේ ද පහර දෙන අවස්ථාවෙහි ඔහුගේ වධක චේතනාවට අරමුණ වන්නේ, ඉලක්කය වන්නේ එතැන සිටි සත්ත්වයාගේ ශරීරය ය. ආපත්ති විනිශ්චය හා කර්ම විනිශ්චය කළ යුත්තේ පහර දීමේ චේතනාවට ලක්වූ වස්තුව අනුවය. රාත්‍රි කාලයේ දී එළුවාය කියා සිතා ගත ද මව මව ම ය. මේ සත්ත්වයාට පහර දෙමිය කියා පහර දෙන්නේ මවට ය. භික්ෂුවට පාරාජිකාව හා ආනන්තර්ය කර්මය යන දෙකම හිමි වන්නේ් ඒ නිසා ය.

මව හෝ පියා නිදන තැන බලා ගෙන රාත්‍රි කාලයේ දී මව හෝ පියා මරන්නට ගිය භික්ෂුවගේ පහරින් මව හෝ පියා මළේ නම් භික්ෂුවට පාරාජිකාපත්තිය හා ආනන්තරියකර්මය යන දෙක ම වේ. අන් මිනිසෙක් එි සිට මළේ නම් පාරාජිකාපත්තිය පමණක් වේ. අමනුෂ්‍යයෙක් එහි සිට මළේ නම් ථුලැසි ඇවැත් වේ. තිරිසනෙක් සිට මළේ නම් පචිති ඇවැත් වේ.

ආණත්තිකපයෝගයේ විස්තර

“වත්ථු කාලො ච ඔකාසො - ආවුධං ඉරියාපථං,

කිරියාවිසෙසොති ඉමෙ - ඡ ආණත්ති නියාමකා.”[40]

වස්තුවය, කාලයය, අවකාශයය, ආවුධයය, ඉරියාපථයය, ක්‍රියා විශේෂයය යන මේ කරුණු සය අනුව ආණත්තිකපයෝගයෙන් වන පාරාජිකාව විනිශ්චය කළ යුතුය.

වස්තුව යනු මරනු ලබන පුද්ගලයාය. අසවලා මරන්නය කියා භික්ෂුවක් භික්ෂුවකට අණ කළ කල්හි අණ ලත් භික්ෂුව නො වරදවා එය ඉටු කරන්නේ නම් ආණාපක භික්ෂුව එකෙණෙහි ම පාරාජිකාපත්තියට පැමිණේ. මැරීමෙන් පසු මරන භික්ෂුව පාරාජිකා වේ. අණ ලත් භික්ෂුව වරදවා අනිකකු මැරුව හොත් මරන භික්ෂුව පමණක් පාරාජිකා වේ. මූලිකයා පාරාජිකා නො වේ. අසවලා මරන ලෙස අසවලාට කියවයි අණ කළ කල්හි ද එය නො වැරදීම සිද්ධ වේ නම් මූලිකයා එකෙණෙහි ම පාරාජිකා වේ. පණිවිඩය කියන්නා කී කල්හි පාරාජිකා වේ. මරන්නා මැරූ කල්හි පාරාජිකා වේ.

“භික්ඛු භික්ඛුං ආණාපෙති, ඉත්ථන්නාමස්ස පාවද ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස පාවදතු ඉත්ථන්නාමො ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙතූති ආපත්ති දුක්කටස්ස. සො ඉතරස්ස ආරොචෙති ආපත්ති දුක්කටස්ස, වධකො පතිගණ්හාති මූලට්ඨස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. සො තං ජීවිතා වොරොපෙති ආපත්ති සබ්බෙසං පාරාජිකස්ස.”[41]

මේ පාරාජිකාපාළියේ එන පාඨයකි. එයින් දැක්වෙන සාමාන්‍ය අදහස නම් භික්ෂුවක් භික්ෂුවකට අසවලා මරන්නට අසවලාට කියව යයි අණ කළ හොත් දුකුළා ඇවැත් වේය; පණිවිඩය කීමෙන් දෙවැන්නාට දුකුළා ඇවැත් වේය, එය මරන භික්ෂුව පිළිගැනීමෙන් මූලිකයාට ථුලැසි ඇවැත් වේය, මැරීමෙන් සැමට ම පාරාජිකාපත්තිය වේය යනුයි.

මේ පාඨයෙන් දැක්වෙන නියම අදහස ආණාපක භික්ෂුවගේ අණ මරණය තෙක් ක්‍රියාවේ නො යෙදී අණ කිරීමෙන් ම නවතිත හොත් ඔහුට දුකුළා ඇවැත් වීමත්, පණිවිඩය කීමෙන් නවතිත හොත් පණිවිඩය කියන්නාට දුකුළා ඇවැත් වීමත් පණිවිඩය පිළිගැනීමෙන් නවතිත හොත් මූලිකයාට ථුලැසි ඇවැත් වීමත්ය. අණ පරිදි මරණය ඒකාන්තයෙන් සිදුවේ නම් මූලිකයාට දුකුළා ඇවැත් ථුලැසි ඇවැත් නො වී එකෙණෙහි ම පරිජි ඇවැත් වේ. දෙවැන්නාටත් දුකුළා ඇවැත් නො වී එකෙණෙහි ම පරිජි ඇවැත් වේ. එසේ වන්නේ අණ කිරීමෙන් හා පණිවිඩය කීමෙන් මරණය පිළිබඳ ඔවුන්ගේ කාර්‍ය්‍යය අවසන් වන බැවිනි. මරන්නාගේ කාර්‍ය්‍යය අවසන් නැති බැවින් ඔහු පාරාජිකා වන්නේ පසුව මැරූ දිනයකදී ය. මේ ගැඹුරු කරුණෙකි. නැවත නැවත කල්පනා කොට තේරුම් ගත යුතුය.

අසවලා මරන ලෙස සංඝරක්ඛිතට කියවයි බුද්ධරක්ඛිත ධම්මරක්ඛිතට අණ කළ කල්හි සංඝරක්ඛිත මිනීමැරීමට තරම් වීරයකු නො වෙතියි අනිකකුට කියා අනිකකු ලවා මැරවුවහොත් බුද්ධරක්ඛිතට ඇවැත් නො වේ. ධම්මරක්ඛිත හා මැරූ භික්ෂුව පාරාජිකා වෙති. පණිවිඩය වරද්දවා කී හෙයිනි.

කාලය යනු මරවන්නහුට එය සිදුකරවා ගැනීමට වුවමනා කාලයය. පෙරවරුකාල පස්වරුකාල දවල්කාල රාත්‍රිකාලාදි කාලයන්ගෙන් යම්කිසි කාලයකදී කෙනකු මරන්නට අණ කළ කල්හි මරන තැනැත්තා කාලය වරදවා අන් කාලයකදී මැරුව හොත් මැරූ භික්ෂුවට මිස අණ කළ භික්ෂුවට ඇවැත් නො වේ.

අවකාශය යනු මරන ස්ථානය ය. භික්ෂුවක් වනයේ දී අනිකකු මරන්නට අණ කළ කල්හි වනයෙහි දී ම මැරුව හොත් දෙදෙනා ම පාරාජිකා වෙති. ගමෙහිදී මැරුව හොත් අණ කළ භික්ෂුවට ඇවැත් නැත. ගෙයකදී මරන්නට අණ දුන් කල්හි මඟදී ද මගදී මරන්නට අණ දුන් කල්හි ගෙයිදී ද මැරුව හොත් අණ දුන් භික්ෂුව ඇවතින් මිදේ.

ආවුධය යනු මැරීමට යොදා ගන්නා ආවුධය ය. කඩු කිණිසි ආදි මැරීමට උපයෝගී කර ගන්නා ආයුධ අතුරෙන් යම්කිසි ආයුධයකින් මරන ලෙස අණ කළ කල්හි ඒ ආයුධයෙන් ම මැරුව හොත් දෙදෙනා ම පාරාජිකා වෙති. නියම කළ ආයුධය හැර අන් ආයුධයකින් හෝ අන් ක්‍ර‍මයකින් හෝ මැරුව හොත් අණ කළ තැනැත්තේ ඇවතින් මිදේ.

ඉරියාපථය යනු මරවන්නහුට මැරවීමට වුවමනා ඉරියව්ව ය. භික්ෂුවක් යම්කිසිවකු නිදන විට ම මරන්නට වුවමනා වී අසවලා නිදන විට මරන්නය යි භික්ෂුවකට අණ කළ කල්හි අණ ලත් භික්ෂුව එසේ ම මැරුයේ නම් දෙදෙනා ම පරිජි වෙති. අන් ඉරියව්වකදී මැරුව හොත් මූලිකයා මිදී මැරූ භික්ෂුව පමණක් පාරාජිකා වේ.

ක්‍රියාවිශේෂය යනු කැපීම හැණීම හිස පොඩි කිරීම බෙල්ල මිරිකීම යනාදි මැරීම සඳහා කරන ක්‍රියාව ය. බෙල්ල මිරිකා මරන්නට අණ කළ කල්හි එසේ ම කළ හොත් දෙදෙනා ම පරිජි ඇවතට පැමිණෙති. බෙල්ල කපා මැරුව හොත් මූලිකයා ඇවතින් මිදේ.

ගිහියකු පියා හෝ මව මරන්නට අනිකකුට නියම කළ කල්හි එය නො වරදවා අණ ලත් තැනැත්තා අතින් සිදු වේ නම් ඔහුට එකෙණෙහි ම ආනන්තර්‍ය්‍ය කර්මය වේ. අණ ලත් තැනැත්තා එය සිදුකරන්නට කලින් ඔහු පැවිදි උපසම්පදා වුව ද ඔහුට පැවිද්ද හා උපසම්පදාව නො පිහිටයි. කෙනකු මරන්නට අණ කළ කල්හි අණ ලත් තැනැත්තා ඔහු රහත් වීමෙන් පසු මැරුව හොත් දෙදෙනාට ම ආනන්තර්‍ය්‍යකර්මය වේ.

ථාවරපයෝගයේ විස්තර.

තැබූ තැන ම තිබෙන එහා මෙහා නො යන උපකරණයක් මැරීම සඳහා යෙදීම ථාවරපයෝග නමි. වළ කැණීමය, පරිභෝග භාණ්ඩවල ආයුධ යෙදීමය, ආයුධ සමීපයෙහි තැබීමය, අහිත බෙහෙත් සමීපයෙහි තැබීමය යන සතර ආකාරයෙන් පාළියෙහි ථාවරපයෝගය දක්වා ඇත්තේ ය.

වළ කැණීම.

භික්ෂුවක් යම් කිසිවකු මරනු පිණිස වළක් කණී නම් දුකුළා ඇවැත් වේ. පඨවිකණන සිකපදයෙන් පචිති ඇවැත් නො වී දුකුළා ඇවැත් වන්නේ එය පාරාජිකාවේ පූර්වප්‍රයෝගය නිසාය. ඒ වළෙහි බලාපොරොත්තු වන මිනිසා ඒකාන්තයෙන් වැටී මැරෙන්නේ නම් වළ කපා අවසන් කරනු සමඟ ම පරිජි ඇවතට පැමිණේ. අනිකකු එහි වැටී මළ ද පරිජි ඇවත නො වේ. කවරෙක් හෝ වැටී මැරේවායි කැපූ වළෙහි කවර මිනිසකු වුව වැටී මැරේ නම් පරිජි වේ. මව හෝ පියා වැටී මැරේ නම් ආනන්තර්‍ය්‍යකර්මය වේ. වළක් කැණීම සිදුවන්නේ චේතනා බොහෝ ගණනකිනි. වළ කපන භික්ෂුව පාරාජිකා වන්නේ කවර චේතනාවෙන් ද යන මෙය විනිශ්චය කිරීමට දුෂ්කර ගැඹුරු පැනයකි. සමන්තපාසාදිකාව කළ බුදුගොස් හිමියෝ මේ පැනය නො විසඳූහ. උන් වහන්සේ විසින් මහා අට්ඨකථාවාදය, මහාපච්චරිය අට්ඨකථාවාදය යි මේ කරුණ පිළිබඳ ආචාර්‍ය්‍යවාද දෙකක් සමන්තපාසාදිකාවෙහි[42] දක්වා ඇත්තේ ය. වළ කැණ මට්ටම් කොට අන්තිම පස්කූඩය ඉවත් කරන අවසාන චේතනාවෙන් ඇවතට පැමිණේ ය යනු මහාඅට්ඨකථාවාදය ය. මේ වළෙහි වැටී මැරෙතැ යි එක් උදලු පහරක් දුන් කල්හි එහි පය පැකිළී වැටී කවරකු හෝ මැරේ නම් පාරාජිකා වේය යනු මහාපච්චරිය අටුවා වාදය ය. සංඛේපට්ඨකථා වාදයත් එය ම බව කියා ඇත. බුදුගොස්හිමියන් විසිනුදු විනිශ්චය නො කළ මේ කරුණ අපි විනිශ්චය කරන්නට නො යමු.

බැඳී මැරෙන උගුල් ඇටවීම, යට වී මැරෙනු පිණිස හබක ඇටවීම, හැණී මැරෙනු පිණිස උල් සිටවීම යන මේවා වළ කැණීමට අනුලෝම වශයෙන් අටුවාවෙහි දක්වා ඇත්තේ ය. ඒවායින් දුක්කට ථුල්ලච්චය පාරාජිකා ආපත්තීන් වන අයුරු කී කරුණු අනුව තේරුම් ගත යුතු ය.

මරනු පිණිස හේත්තු වන හිඳින නිදන තැන්වල ආයුධ තැබීම, විෂ ගල්වා තැබීම, ගෙන දිවි නසා ගනු සඳහා සමීපයෙහි ආයුධ තැබීම, වළඳා රෝගය උත්සන්න වී මැරෙනු පිණිස රෝගියකු සමීපයේ ගිතෙල් ආදි අපථ්‍ය බෙහෙත් අපථ්‍යහාර තැබීම යන මේවාද ථාවරප්පයෝගයට ම අයත් ය.

මරණයේ ගුණ කීම.

ආයුධාදියෙන් පමණක් නොව මරණයෙහි ගුණ වර්ණනා කිරීමෙන් ද මැරීම කළ හැකි ය. ඇතැම්හු පක්ෂාඝාතරෝග පිළිකා රෝගාදි සුව කළ නො හෙන බෝකල් දුක් විඳින රෝගීන් දුටු කල්හි ද අන්ධ වී අත් පා සුන් වී දුක් විඳින්නන් ද මහලු වී කිසිවක් කර ගත නො හැකිව දුක් විඳින පුද්ගලයන් ද දුටු කල්හි මොවුනට මෙසේ බෝකල් දුක්විඳිනවාට වඩා මරණය සැපයයි සිතති. එසේ සිතා ඔවුනට මරණයේ ගුණ වර්ණනා කරති. එය අසා යමකු යම්කිසි උපක්‍ර‍මයක් කොට දිවි නසා ගත හොත් මරණය වර්ණනා කළ භික්ෂුව පරිජි ඇවතට පත් වේ. එසේ වර්ණනා කිරීමෙන් මව හෝ පියා දිවි නසා ගත හොත් ආනන්තර්‍ය්‍ය අකුශලය වේ. මැරෙන්නට සිතන කෙනකුට මෙසේ කළ හොත් පහසුවෙන් මැරෙත හැකි යයි ක්‍ර‍ම කියා දී එසේ දිවි නසා ගත හොත් භික්ෂුව පරිජි වේ.

භික්ෂූන්ට නොයෙක් විට රෝගීන්ට දහම් දෙසන්නට ද සිදු වේ. දහම් දෙසීමේදී ඔබ බොහෝ පින් කළ කෙනෙක, ඔබ මළ හොත් යන්නේ ස්වර්ගයට ය, මේ දුක් විඳිනවාට වඩා ඔබට මේ ලාමක ජීවිතය හැර ස්වර්ගයට යාම ඉතා යහපත් ය, යනාදීන් දහම් දෙසා, එය අසා රෝගියා දිවි තොර කර ගත ද භික්ෂුව පාරාජිකා වේ. රෝගීන්ට දහම් දෙසීමේදී භික්ෂූන් පරෙස්සම් විය යුතුය. මැරෙතැයි බියෙන් පෙළෙන කෙනකුට බිය දුරු වනු පිණිස මරණයේ ගුණ කීමෙන් ඇවැත් නො වේ. මරණයේ ගුණ අනුන් ලවා කියවුව ද එය අසා කෙනකු දිවි නසා ගතහොත් භික්ෂුව පාරාජිකා වේ. ලියා දැක්වුව ද එසේ ම වේ. අනුන් විසින් ලියන ලද්දක් දැක්වුව ද එය බලා අනිකා දිවි නසා ගත භික්ෂුව පාරාජිකා වේ.

රූප දැක්වීම් ආදිය

භයානක රූප දක්වා බිය ගන්වා ද මැරිය හැකි ය. රාගාග්නිය තදින් නැඟීමට හේතු වන සුන්දර රූප දැක්වීමෙන් ද මැරිය හැකි ය. භයානක ශබ්ද ඇස්වීමෙන් ද මැරිය හැකිය. ගන්ධ රස ස්ප්‍ර‍ෂ්ටව්‍යයෙන් ද මැරිය හැකි ය. බිය වන පරිදි දහම් දෙසීමෙන් ද මැරිය හැකි ය. කිනම් උපක්‍ර‍මයකින් වුව ද භික්ෂුවක් මිනිසකු මැරුව පරිජි වේ.

මිනිසකු වීමය, සත්ත්වයෙක යන සංඥාව ඇති බවය, වධකචිත්තය ය, උපක්‍ර‍මයක් කිරීමය, එයින් මරණය සිදු වීමය කියා මේ සිකපදයේ අංග පසෙකි.

මරමිය යන සිතින් තොරව කළ දෙයකින් කෙනකු මළ ද, මැරෙන බව නො දැන කළ දෙයකින් මළ ද, මරන අදහසින් තොරව කළ දෙයකින් මළ ද ඇවැත් නො වේ. උමතුකමින් කළ දෙයකින් මළ ද ඇවැත් නො වේ.

දිවි නසා ගැනීම

“න ච භික්ඛවෙ අත්තානං පාතෙතබ්බං, යො පාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[43]

“මහණෙනි, ආත්මය පර්වතාදියෙන් නො හෙළිය යුතුය, ජීවිතය නො නසා ගත යුතුය, යමෙක් එසේ කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේය” යනු එහි අදහස ය. අනුන්ගේ ජීවිතය නැසීමෙන් පාරාජිකා වන්නාක් මෙන් ප්‍ර‍පාතවලට පැනීම් ආදියෙන් සිය දිවි නසා ගැනීමෙන් පාරාජිකාපත්ති නො වේ. උඩ සිට බිමට පැනිම, දියට පැනීම, වාහන එන මඟට පැනීම, වස කෑම, ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නො ගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ. දීර්ඝ කාලයක් පවත්නා වූ යම් දරුණු රෝගයක් ඇති භික්ෂුවක් නිසා උපස්ථායකයන්ට බොහෝ වෙහෙසෙන්්නට සිදු වේ නම් උපස්ථායකයෝ රෝගියා පිළිකුල් කෙරෙත් නම් මේ කරදරය කවදා කෙළවර වේ දැයි සිතත් නම් ප්‍ර‍තිකාර කළ ද මේ ආත්මය නො පවත්නේය, මා නිසා උපස්ථායකයෝ ද වෙහෙසෙත්ය යි සිතා ආහාර ප්‍ර‍තික්ෂේප කොට සිටීමෙන් ඇවැත් නො වන බව අටුවාවෙහි[44] දැක් වේ. සසරට තදින් කලකිරුණා වූ භික්ෂුවක් ආහාර සෙවීම හා වැළඳීමත් භාවනාවට බාධාවකැයි ජීවිතාශාව හැර භාවනාව සඳහා ආහාර ප්‍ර‍තික්ෂේප කිරීම සුදුසු බව ද අටුවාවෙහි දක්වා ඇත.

මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බුද්ධශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළහොත් ඔහු මැරෙන්නේ ඇවතකින් ය.

විනීත වස්තු

එක් පිණ්ඩවාරික භික්ෂුවක් පුටුවක රෙදිකඩකින් වසා තබා සිටි ළදරුවකු යට කොට හිඳ ගත්තේ ය. ළදරුවා මළේය. ඒ බව බුදුරදුන්ට සැලකළ කල්හි ඉන් පාරාජිකාවක් නැති බව වදාරා මේ සිකපදය පනවා වදාළහ.

“න ච භික්ඛවෙ අප්පටිවෙක්ඛිත්වා ආසනෙ නිසීදිතබ්බං. යො නිසීදෙය්‍ය ආපත්ති දුක්කටස්ස”[45]

“මහණෙනි, නො විමසා අසුනෙහි නො හිඳිය යුතුය. යමෙක් හිඳී නම් ඔහුට දුකුළා ඇවැත් වේ” ය යනු එහි තේරුම ය. වාඩි වන කල්හි ආසනයේ සැටි හොඳට නො පෙනේ නම් අත ගා බලා වාඩිවිය යුතුය. ඇතිරියක් නැති අසුනෙහිත් බලා සිටියදී ඇතිරියක් එලූ අසුනෙහිත් නො විමසා හිඳීම වටනේ ය. මිනිස්සු තමා ඉදිරියේ ආසනය අතගා මෙහි හිඳිනු මැනවයි කී කල්හි ද නො විමසා හිඳීම සුදුසු ය. කලින් වාඩිවී සිටි භික්ෂූන් එහා මෙහා වූ දීර්ඝාසනයෙහි ද නො විමසා හිඳීම සුදුසුය. යම් කිසිවක් වැසී ඇති නම් ඒ බව දැනෙන තුනී වස්ත්‍ර‍ එලා ඇති අසුනෙහි නො විමසා හිඳීම සුදුසු ය. ඝන ඇතිරි එලූ අසුනෙහි නො විමසා හිඳීම නුසුදුසු ය.

පියපුතු දෙදෙනෙක් පැවිදිව විසූහ. දිනක් සංඝයාට රැස්වීමට කාලය දැන් වූ කල්හි “ස්වාමීනි, යන්න ඔබ වහන්සේගේ පැමිණීම සංඝයා බලාපොරොත්තු වන්නේය” යි කියා පුතා පියාගේ පිටට අත තබා තල්ලු කෙළේය. එකල්හි වැටී පියමහණ කාලක්‍රියා කෙළේය. ඒ කරුණ ගැන සැක ඇති වූ පුත් මහණ බුදුන් වහන්සේට සැල කෙළේය. “මහණ, නුඹ කිනම් සිතකින් තල්ලු කෙළෙහි දැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ කල්හි “භාග්‍යවතුන් වහන්ස, මරන අදහසින් නො වෙමි” යි පුත් මහණ සැල කෙළේය. එකල්හි තථාගතයන් වහන්සේ “මරන අදහස නැතියහුට ඇවැත් නැත” ය යි වදාළ සේක.[46]

එක්තරා පිණ්ඩපාතික භික්ෂුවක් වස සහිත පිණ්ඩපාතයක් ලබා ආසන ශාලාවට ගෙන ගොස් එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට තමාගේ පාත්‍රයෙන් ආහාර පිළිගැන්වීය. ඒවා වැළඳූ භික්ෂූහු මරණයට පත් වූහ. ඒ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි උන්වහන්සේ “නුඹ කිනම් සිතකින් එය කෙළෙහි දැ” යි අසා වදාරා “භාග්‍යවතුන් වහන්ස, මම වසක් බව නො දැන භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වීමි”යි සැල කළ කල්හි “මහණ, නො දන්නහුට ඇවැත් නැතය” යි වදාළ සේක.

එක් භික්ෂුවක් මෙයින් කුමක් සිදුවේදෝ යි විමසනු පිණිස අන් භික්ෂුවකට වස දිණ. ඒ භික්ෂුව මරණයට පත් විය. එකරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි කිනම් සිතකින් එය කෙළෙහි දැ යි අසා විමසීම පිණිසය යි සැල කළ කල්හි විමසීමේ අදහස ඇතියහුට පාරාජිකාවක් නැත, ථුලැසි ඇවැත් වේය යි වදාළහ.

එක් සමයෙක්හි සමගමහණහු ගිජුකුළුපව්වට නැඟ විනෝදය පිණිස ගලක් පෙරලූහ. ගොපල්ලෙක් යට වී මළේ ය. ඒ කරුණ බුදුන් වහන්සේට සැල කළ කල්හි එයින් පරිජි ඇවතක් නො වන බව වදාරා,

“න ච භික්ඛවෙ දවාය සිලා පවිජ්ඣිතබ්බා, යො පවිජ්ඣෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[47]

යන සිකපදය පැනවූ සේක. “මහණෙනි, ක්‍රීඩා පිණිස ගල් නො පෙරළිය යුතුය. යම් මහණෙක් ගල් පෙරළුයේ නම් ඔහුට දුකුළා ඇවැත් වේය” යනු එහි තේරුමය. මහ ගල් පෙරළීම පමණක් නොව ගල් කැට මැටිකැට කැබලිති පොලු යන මේවා අතින් හෝ පයින් දමා ගැසීම ද දුනුවලින් විදීම ද භික්ෂූන්ට නො වටනේය. අහර බෙදීම් පිළියෙල කිරීම් ආදියෙහිදී කවුඩන් එළවීම සඳහා ගල් ගැසීම් ආදිය වටනේය. විහාරකර්මාන්තාදිය කිරීමෙහිදී ගල් ආදිය පෙරළීම විසි කිරීම වටනේය.[48]

එක්තරා භික්ෂුවක් විහාරයක් සෙවෙනි කළ භික්ෂුවකට වහලෙන් බසින්නට තැනක් දැක්වීය. එතැනින් බස්නා භික්ෂුව වැටී මළේය. එකරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි මැරීමේ අදහස නැතියහුට ඇවැත් නැතය යි වදාළ සේක.

එක්තරා භික්ෂුවක් මරන අදහසින් විහාරයක් සෙවෙනි කළ භික්ෂුවකට බසින්නට තැනක් දැක්වීය. එතැනින් බස්නා භික්ෂුව වැටී මළේය. එකරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි මරණ අදහස ඇති කල්හි පාරාජිකාපත්ති වේය යි වදාළහ.

එක්තරා භික්ෂුවක් මරන අදහසින් භික්ෂුවකට වහලෙන් බස්නට තැනක් දැක්වීය. එතැනින් බස්නා භික්ෂුව වැටුණේය. එහෙත් නො මළේය. එකරුණ තථාගතයන් වහන්සේට සැල කළ කල්හි නො මළ බැවින් පාරාජිකාපත්තියට නො පැමිණෙන බවත් ථුලැසි ඇවැත් වන බව වදාළ සේක.

එකල සැමියාගෙන් වෙන් ව වාසය කළ මාගමක් ගැබ් ගත්තීය. ඕ තොමෝ කුලුපග භික්ෂුවකගෙන් ගැබ් හෙළනා බෙහෙත් ඉල්ලීය. භික්ෂුව ඇයට ගැබ වැටෙන බෙහෙතක් දුන්නේය. කුස සිටි දරුවා මළේය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි බෙහෙත් දුන් භික්ෂුව පාරාජිකාපත්තියට පැමිණි බව වදාළ සේක.

එසමයෙහි වඳ කතක් භික්ෂුවකගෙන් දරුවන් ලැබීමට බෙහෙතක් ඉල්ලිය. භික්ෂුව ඇයට බෙහෙතක් දිණ. එයින් ඕ මළාය. භාග්‍යවතුන් වහන්සේ එයින් ඒ භික්ෂුවට දුකුළා ඇවැතක් වන බව වදාළහ.

එසමයෙහි එක්තරා භූතවෛද්‍ය භික්ෂුවක් යකකු මැරීය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි එයින් පාරාජිකාපත්තියට නො පැමිණෙන බවත් ථුලැසි ඇවැත් වන බවත් වදාළ සේක.

එසමයෙහි භික්ෂුවක් අන් භික්ෂුවක් මරන අදහසින් නපුරු යකුන් ඇති විහාරයකට යැවීය. යක්ෂයෝ ඒ භික්ෂුව මැරූහ. ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ කල්හි ඒ භික්ෂුවට පාරාජිකාපත්තිය වූ බව වදාළහ. එසේ යවා යකුන් විසින් නො මැරුව හොත් ථුලැසි ඇවැත් වේයයි ද වදාරා ඇත්තේය.

එසමයෙහි එක්තරා භික්ෂුවක් පින් කළ කෙනකු මරන අටියෙන් ඔහුට ස්වර්ග වර්ණනාව කෙළේ ය. ඔහු එය අසා ස්වර්ගසම්පත්තියට ආශා කොට මළේ ය. ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ඒ භික්ෂුව පාරාජිකාවට පැමිණියේය යි වදාළ සේක.

එක් භික්ෂුවක් පව් කළ එකකු බිය ගන්වා මරනු පිණිස ඔහුට නිරයකථාව කීය. හෙතෙමේ බිය වී මළේය. ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ඒ මහණ පාරාජිකාපත්තියට පැමිණියේ ය යි වදාළහ.

එසමයෙහි අත්පා සිඳිනු ලැබූ පුරුෂයකු වෙත ඔහුගේ ඥාතීහු රැස්ව උන්හ. එතැනට පැමිණි භික්ෂුවක් “මොහු මැරෙනවාට කැමැත්තහුදැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔවුහු “එසේය” යි පිළිතුරු දුන්හ. “එසේ නම් මොහුට මෝරු පොවව්” ය යි භික්ෂුව කීය. ඔවුහු මෝරු පෙවූහ. අත්පා සුන් තැනැත්තා මළේ ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ඒ භික්ෂුව පරිජි ඇවතට පත්වූයේ යයි වදාළ සේක.

(මේ කථා පාරාජිකා පාළියෙනි.)

චතුර්ථ පාරාජිකාව

“යො පන භික්ඛු අනභිජානං උත්තරිමනුස්සධම්මං අත්තූපනායිකං අලමරියඤාණදස්සනං සමුදාචරෙය්‍ය, ඉති ජානාමි ඉති පස්සාමීති, තතො අපරෙන සමයෙන සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා ආපන්නො විසුද්ධාපෙක්ඛො එවං වදෙය්‍ය, අජානමෙවං ආවුසො අවචං ජානාමි අපස්සං පස්සාමි තුච්ඡං මුසා විලපින්ති, අඤ්ඤත්‍රාධිමානා. අයං පි පාරාජිකා හොති අසංවාසො.[49]

සිංහල භාෂා ශෛලියට නො ගැළපෙන වචන මාලාවක් වන මේ සිකපදය පාළි වචන ඇති සැටියට සිංහල කළ කල්හි තේරුම් ගැනීමට දුෂ්කර වන බැවින් එහි කෙටි අදහස පමණක් දක්වනු ලැබේ.

‘යම් මහණෙක් කෙලෙස් නැසීමට සමත් වූ පරිශුද්ධ ඥාන දර්ශන ඇති බුද්ධාදි උත්තම පුද්ගලයන්ගේ ධර්මය වූ ධ්‍යාන මාර්ගඵලාදි ධර්ම තමා නො ලබා තමා කෙරෙහි නැතව වඤ්චා කිරීමේ අදහසින් අධිමානයෙන් තොරව තමා කෙරෙහි ඇතය යි පවසා නම් ඒ මහණ පරිජි වේය’ යනු සිකපදයේ කෙටි තේරුමය.

රූපාවචරධ්‍යාන පසය, අරූපාවචරධ්‍යාන සතරය, ලෝකෝත්තර මාර්ග සතරය, ලෝකෝත්තර ඵල සරතය, ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාය, නීවරණ නැති බවය යන මේවා උත්තරිමනුස්සධම්ම නම් වේ. ඇතැම්හු අධිමානයෙන් ඒවා තමන්ට ඇතය යි කියති. අධිමානයෙන් කියන්නහුට ඇවැත් නැත. ඒ ධර්ම තමා කෙරෙහි නැතිව වඤ්චා කිරීමේ අදහසින් තමා කෙරෙහි ඇතය යි කියුව හොත් එකෙණෙහි ම පරිජි වේ. පසු කාලයේ දී කෙනකු විසින් විමසන කල්හි හෝ විමසීමක් නැතිව ම හෝ මාහට ඒ ධර්ම නැත, මා කීයේ බොරුය යි කීව ද ඇවතින් නො මිදේ.

අධිමානය.

ධ්‍යාන මාර්ගඵලවලින් කිසිවක් ලබා නැතත් තමා ඒවා ලබා ඇතය යන වැරදි හැඟීමක් ඇතැමුන්ට ඇති වේ. එයට “අධිමානය” යි කියනු ලැබේ. මේ අධිමානය ධ්‍යානාදි උත්තරිමනුෂ්‍යධර්මයන් ගැන අපේක්ෂාවක් නැති දුශ්ශීලයන්ට ඇති නො වේ. සමථ විදර්ශනා වැඩීම හැර අන් කටයුතුවල යෙදී කල් යවන සිල්වතුන්ට ද ඇති නො වේ. පරිශුද්ධ ශීලයේ පිහිටා මහත් වූ වීර්‍ය්‍යයෙන් භාවනා කිරීමෙහි යෙදෙන පින්වතුන්ට සමහර විට අධිමානය ඇතිවේ. ආර්‍ය්‍ය පුද්ගලයන්ට කිසිවිටෙක අධිමානය ඇති නො වේ. එබැවින් සෝවාන් පුද්ගලයෙක් කිසිකලෙක තමා සකෘදාගාමිය කියා හෝ අනාගාමිය කියා හෝ රහත්ය කියා හෝ නො සිතයි. සමථ විදර්ශනා දෙකින් එකක් දියුණු කර ඇතියවුන්ට යට යට මාර්ගඵල පිළිබඳව අධිමානය ඇති වෙනවා මිස තමා රහත්ය කියා අධිමානය ඇති නො වන බව ද සමථ විදර්ශනා දෙක ම ඇතියන්ට තමා රහත් ය යන අධිමානය ඇති වන බවද දක්වා ඇත්තේ ය. ඇතැම් පැරණි මහතෙරුන් වහන්සේලා බොහෝ ගණන් අවුරුදු තමා රහත්ය යන අධිමානයෙන් විසූ බව අටුවාවල දක්වා ඇත්තේය. අධිමානය නිසා උත්තරී මනුෂ්‍යධර්මයන් ප්‍ර‍කාශ කිරීම වඤ්චාවක් නො වන බැවින් එයින් ඇවැත් නො වේ.

උත්තරීමනුෂ්‍ය ධර්ම වූ ධ්‍යානාදිය ලබා නැති බවය, ලාමක අදහසින් තමාට ඒවා ඇතයයි කීමය, අනිකකු නො දැක්වීමය, අසන්නහු මනුෂ්‍යයකු වීමය, එකෙණෙහි ම ඔහුට තේරුම් යාමය යි මේ සිකපදයට අංග පසක් ඇත්තේ ය.

මට ධ්‍යාන ඇත යනාදීන් උත්තරීමනුෂ්‍යධර්මය ප්‍ර‍කාශ කළ ද ඒවා ගැන අසා නැති දැනුමක් නැති පුද්ගලයෝ ප්‍ර‍කාශ කළ උත්තරීමනුෂ්‍යධර්මය තේරුම් ගැනීමට සමත් නො වෙති. නැත්තා වූ උත්තරීමනුෂ්‍ය ධර්මයක් තමාට ඇතය යි කී කල්හි අසන්නා තේරුම් නො ග්තතේ නම් පරිජි ඇවතට නො පැමිණ ථුලැසි ඇවතට පැමිණේ.

නැත්තා වූ උත්තරීමනුෂ්‍යධර්මය ප්‍ර‍කාශ කරනු කැමති ලාමක අදහස් ඇති මහණ මමය කියා කෙළින්ම නො කියා ඔබගේ පන්සලේ වෙසෙන භික්ෂුව ප්‍ර‍ථම ධ්‍යානයට සමවදින කෙනෙක යනාදීන් අනිකකු දක්වන්නාක් මෙන් පර්යායයෙන් කිව ද පරිජි නො වේ. ථුලැසි වේ. අමනුෂ්‍යයකුට කීමෙන් දුකුළා ඇවැත් වේ. සත්‍ය වශයෙන් ඇත්තා වූ උත්තරීමනුෂ්‍යධර්මය වුවද උපසම්පන්නයන්ට මිස අනුපසම්පන්නයන්ට නොකිය යුතුය. “යො පන භික්ඛු අනුපසම්පන්නස්ස උත්තරීමනුස්සධම්මං ආරොචෙය්‍ය භූතස්මිං පාචිත්තියං.”[50]

යම් මහණෙක් අනුපසම්පන්නයකු හට උත්තරී මනුෂ්‍යධර්මය ආරෝචනය කෙළේ නම් එය ඔහුට ඇති කල්හි පචිති ඇවැත් වේ.

විනීත වස්තු

එසමයෙහි එක් භික්ෂුවක් මෙසේ කිරීමෙන් “මා ආර්‍ය්‍යයෙක රහත් කෙනෙකැයි ජනයෝ පසස්නාහ, මට සත්කාර කරන්නාහ” යි සිතා අරණ්‍යයෙහි විසී. මනුෂ්‍යයෝ ද ඔහුට බලාපොරොත්තු වූ පරිදි සත්කාර කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් නැති උතුරු මිනිස් දම් නො පැවසීමට සිකපදයක් පනවා ඇත්තේ ය. කිමෙක් ද? මෙයින් මම පාරාජිකා වූයේමදැ යි ඒ භික්ෂුවට සැකයක් ඇති විය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි “මහණ, නුඹ පාරාජිකාවට නො පැමිණියෙහිය” යි වදාරා මේ සිකපදය පැන වූ සේක.

“න ච භික්ඛවෙ පණිධාය අරඤ්ඤෙ වත්ථබ්බං, යො වසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[51]

“මහණෙනි, ප්‍ර‍ශංසාව පතා ලාභසත්කාර පතා අරණ්‍යයෙහි නො විසිය යුතුය. යමෙක් වෙසෙන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වේය” යනු එහි තේරුමය.

ප්‍ර‍ශංසා ලාභසත්කාර ලැබීමේ අදහසින් අරණ්‍යයට යන භික්ෂුවට පියවරක් පාසා දුකුළා ඇවැත් වේ. එහි ගොස් කුටි තැනීම සක්මන් තැනීම හිඳිනා තැන් තැනීම ආදි සියල්ලෙහිදී ම දුකුළා ඇවැත් වේ. එසේ ගොස් ලාභසත්කාර නො ලැබුව ද ඇවැත් සිදුවේ ම ය.

ධුතංග සමාදන් වූ භික්ෂුව විසින් එය රැකීම සඳහා ද, ගමෙහිදී සිත වික්ෂිප්ත වන්නේය. අරණ්‍යයෙහි සන්සුන් වන්නේය. එබැවින් අරණ්‍යය මට සුදුසු තැනකැ යි, අරණ්‍යයෙහි විවේකය ලැබිය හැකිය යි ද, අරණ්‍යයට ගොස් රහත් නො වී නො එමි යි සිතා ද, අරණ්‍යවාසය භාග්‍යවතුන් වහන්සේ විසින් පසස්නා ලද්දක්ය කියා ද, මා අරණ්‍යයෙහි වෙසෙන කල්හි බොහෝ සබ්‍ර‍හ්මචාරීහු ආරණ්‍යකයෝ වෙත්ය කියා ද අරණ්‍යයට යාම සුදුසුය. සතරවන පාරාජිකාවට ආසන්න මෙබඳු තවත් සිකපද ඇත්තේ ය. ඒවා මෙසේ ය.

“න ච භික්ඛවෙ පණිධාය පිණ්ඩාය චරිතබ්බං, යො චරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

“න ච භික්ඛවෙ පණිධාය චංකමිතබ්බං, යො චංකමෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

“න ච භික්ඛවෙ පණිධාය ඨාතබ්බං, යො තිට්ඨෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

“න ච භික්ඛවෙ පණිධාය සෙය්‍යං කප්පෙතබ්බං, යො කප්පෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[52]

එසමයෙහි එක් භික්ෂුවක් “ඇවැත්නි, අපගේ උපාධ්‍යායයන් වහන්සේගේ සියලු ම සද්ධිවිහාරිකයෝ රහත්හු වෙතැ” යි අන් භික්ෂුවකට කීය. පසුව ඒ භික්ෂුවට තමා පාරාජිකාපත්තියට පැමිණියේදෝ යි කුකුස් ඇති වී ඒ බව භාග්‍යවතුන් වහ්නසේට සැල කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ “මහණ, තට පාරාජිකාපත්තිය නො වී ය. ථුලැසි ඇවැත් වී ය”යි වදාළ සේක.

එසමයෙහි එක්තරා භික්ෂුවක් “ඔබගේ විහාරයෙහි වෙසෙන භික්ෂුව රහත් කෙනකැ”යි උපාසකයකුට කීය. ඒ විහාරයෙහි වෙසෙන්නේ ඒ භික්ෂුවය. ඔහුට පසුකාලයේ එයින් තමා පාරාජිකා වූයේ දෝයි සැක ඇති වී එකරුණ තථාගතයන් වහන්සේට සැල කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “කිනම් සිතකින් නුඹ එසේ කීයෙහි දැ”යි අසා “උත්තරිමනුෂ්‍ය ධර්මය ප්‍ර‍කාශ කිරීමේ අදහසිනැ”යි සැල කළ කල්හි “නුඹට ථුලැසි ඇවැත් වී ය”යි වදාළහ.

එසමයෙහි භික්ෂු සමූහයක් “යමෙක් මේ ආවාසයෙන් පළමුවෙන් බැහැර වී ගියේ නම් ඒ භික්ෂුව රහත්වූවකු ලෙස අපි සලකන්නෙමුය”යි කතිකා කොට ගෙන එක් ආවාසයක වස් විසූහ. රහත් නො වූ එක් භික්ෂුවක් “මම රහත් කෙනෙකැ යි අන්‍ය භික්ෂූහු සිතා ගනිත්වා” යි ඒ ආවාසයෙන් බැහැර වී ගියේය. ඒ භික්ෂුව තමා පාරාජිකා වූයේ දෝයි සැක ඇති වී ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කෙළේ ය. “මහණ, නුඹ පාරාජිකාපත්තියට පැමිණියෙහිය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ හ.

(මේ කථා පාරාජිකා පාළියෙනි.)

මේ භික්ෂුව පාරාජිකා වූයේ මුවින් වචනයකුදු කථා නො කර ම ය. උත්තරිමනුෂ්‍යධර්මය වචනයෙන් ම පමණක් නො ව හස්තවිකාරාදියෙන් කයින් ද ප්‍ර‍කාශ කළ හැකි ය. කයින් හෝ වචනයෙන්, නැති උත්තරීමනුෂ්‍යධර්මය ප්‍ර‍කාශ කිරීමෙන් පාරාජිකාපත්ති වේ. නැත්තා වූ උත්තරිමනුෂ්‍යධර්ම තමා කෙරෙහි ඇතය යි පවසන තැනැත්තේ මහ සොරෙකි.

මහසොරු පස්දෙනා

සතරවන පරිජි සිකපදය පැනවීමට නිමිත්ත වූ වග්ගුමුදාතීරිය භික්ෂූන් විසින් තමන්ට නැත්තා වූ උත්තරිමනුෂ්‍යධර්ම සංඛ්‍යාත ගුණයන් ප්‍ර‍කාශ කොට ජනයා රවටා ලාභසත්කාර ලැබීම වූ නීච ක්‍රියාවට අනේකාකාරයෙන් ගරහා දහම් දෙසූ භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි මහසොරු පස්දෙනකුන් ඇති බව වදාළ සේක.[53] ඒ සොරු පස්දෙනා මොවුහු ය.

බොහෝ පැවිද්දන් එකතු කොට මහ පිරිසක් සාදාගෙන තෙමේ නායක වී පිරිස දක්වා පිරිසේ බලයෙන් ගිහි පැවිද්දන්ගේ ලාභ සත්කාර ලබන්නා වූ භික්ෂුව පළමුවන මහසොරා ය.

තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය උගෙන ජන මධ්‍යයේදී දහම් දෙසන කල්හි ප්‍ර‍සන්න වූ ජනයෝ දහම් දෙසීම ගැන පුදුම වී “ස්වාමීනි: නුඹ වහන්සේගේ දහම් දෙසුම ඉතා මනහරය, මේ ධර්මය ඔබ වහන්සේ කවරකුගෙන් උගත්තහු දැ”යි විචාරන කල්හි අපට උගන්වන්නට ඇත්තෙ කවුරු දැයි කියමින් ගුරුන් සඟවා තථාගත ධර්මය තමා විසින් ම සොයා ගන්නා ලද්දක් සේ අඟවන මහණ මේ ශාසනයෙහි දෙවන මහසොරා ය.

සුපරිශුද්ධ බ්‍ර‍හ්මචර්‍ය්‍යාව ඇති ආර්‍ය්‍යපුද්ගලයකුට හෝ කල්‍යාණපෘථග්ජන භික්ෂුවකට හෝ අමූලක අබ්‍ර‍හ්මචර්‍ය්‍යා පාරාජිකාපත්තියෙන් චෝදනා කරන්නා වූ මහණ අනුන්ගේ ගුණ පැහැර ගන්නා වූ තුන්වන මහසොරා ය.

සාංඝික වූ කෙත් වතු ඇඳ පුටු ලොහො බඳුන් ආදි ගරුභාණ්ඩයන් ගිහියන් සතුටු කිරීම සඳහා ඔවුනට දෙන්නා වූ මහණ සතරවන මහසොරා ය. සඟසතු වස්තුවෙන් ගිහියන්ට සංග්‍ර‍හ කරන භික්ෂුව කුලදූෂණ දුෂ්කෘතාපත්තියට පැමිණේ. පබ්බාජනීය කර්මයට සුදුස්සෙක් වේ. පබ්බාජනීයකර්මය යනු විහාරයෙන් බැහැර කිරීම ය. තමාගේ බල පුළුවන්කාරකමින් සඟසතු දෑ දෙන්නේ ථුලැසි ඇවැතට ද සොර සිතින් දෙන්නේ පරිජි ඇවතට ද පැමිණේ.

තමා තුළ නැති උත්තරිමනුෂ්‍යධර්මය ඇතය යි පවසමින් ලොව මුළා කරන මහණ දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර‍ වූ මහසොරා ය.

සංඝාදිසේසාපත්ති.

සංඝාදිසේස නම් ආපත්ති තෙළෙසක් ඇත්තේය. භික්ෂූන් විසින් විශේෂයෙන් පරෙස්සම් විය යුතු සිහියෙන් කල්පනාවෙන් නො විසුව හොත් නොයෙක් විට පැමිණීමට අකාශ ඇති සංඝාදිසේසාපත්ති පසක් ඇත්තේය. පරෙස්සම් විය හැකි වීමටත් ඒවා ගැන දැනුම තිබිය යුතුය. ඒවා ගැන දැනුම නැති බව නිසා ද ඇතැම් භික්ෂූහු ඇවැත්වලට පැමිණෙති. නො දැනීම නිදහසට කරුණක් නො වේ. ඒ නිසා ඒවා ගැන හොඳ දැනුමක් උපසම්පන්නයන් විසින් ඇතිකර ගත යුතුය. සංඝාදිසේසාපත්තිවලින් නොයෙක් විට පැමිණීමට අවකාශ ඇති ඇවැත් පස පමණක් මෙහි විස්තර කරනු ලැබේ.

ප්‍ර‍ථම සංඝාදිසේසය.

“සඤ්චේතනිකා සුක්කවිසට්ඨි අඤ්ඤත්‍ර‍ සුපිනන්තා සංඝාදිසෙසො.”[54]

සිහිනයෙන් සිදු වන ශුක්‍ර‍ මෝචනය හැර ඕනෑකමින් උපක්‍රම කොට ශුක්‍ර‍ධාතුව මෝචනය කිරීම සංඝාදිසේස නම් ආපත්තියකි.

ගරුකාපත්ති ලහුකාපත්තිය යි ඇවැත් දෙකොටසකි. පාරාජිකා සංඝාදිසේස ආපත්තීහු ගරුකාපත්තීහු ය. සෙස්සෝ ලහුකාපත්තීහු ය. පාරාජිකාපත්තියට පිරිසිදු වීමේ ක්‍ර‍මයක් නැත. වත් මානත් පුරා අබ්භාන නම් විනයකර්මය කිරීමෙන් සංඝාදිසේසාපත්තියෙන් පිරිසිදු විය හැකි ය. සංඝයා කෙරෙහි හෝ ගණයා කෙරෙහි හෝ පුද්ගලයකු කෙරෙහි හෝ දෙසීමෙන් ලහුකාපත්තිවලින් පිරිසිදු විය හැකි ය.

මෝචනය කිරීමේ චේතනාවය, උපක්‍ර‍ම කිරීමය, ශුක්‍ර‍ය බැහැර වීමය කියා සුක්කවිසට්ඨි සංඝාදිසේසයට අංග තුනක් ඇත්තේ ය. සංඝාදිසේසය ථුල්ලච්චය දුක්කටය යි සුක්කවිසට්ඨිය සම්බන්ධයෙන් වන ඇවැත් තුනකි. සුක්කවිසට්ඨි සංඝාදිසේසයට පැමිණීම ඉතා ඖදාරිකව ද වේ. තේරුම් ගැනීමට නුපුළුවන් වන තරමට ඉතා සියුම් ලෙස ද සිදු වේ. ඒ ක්‍රියාව සම්බන්ධයෙන් දුෂ්කෘතාපත්තියෙන් නවතින අවස්ථා ද ඇත්තේ ය. ථුල්ලච්චයෙන් නවතින අවස්ථා ද ඇත්තේ ය. ඇවතක් නො වන අවස්ථා ද ඇත්තේ ය. ඒවා තේරුම් ගත හැකි වීමට මේ සිකපදය විස්තර වශයෙන් දැන සිටිය යුතු ය.

ශුක්‍ර‍ධාතුව වනාහි ශරීරය නිරෝගීව ශක්තිමත්ව චිරකාලයක් පැවතීමට ආධාර වන්නා වූ ද, කාමසුඛයට ආධාර වන්නා වූ ද එක්තරා ශාරීරික කොට්ඨාසයකි. වර්ණසංස්ථානාදි වශයෙන් වෙන් කොට තේරුම් ගැනීමට පහසු නො වන දෙයක් බැවින් පිළිකුල් භාවනාවට ශාරීරික කොටසක් වශයෙන් එය ගණන් ගෙන නැත. මේ ශුක්‍ර‍ධාතුව මහල්ලන්ගේ ශරීරවල මඳය. බාලයන්ගේ ශරීරවල ඇතය යි ද නැතය යි ද කියති. රහතුන්ගේ ශරීරවල හා බ්‍ර‍හ්මයන්ගේ ශරීරවල සම්පූර්ණයෙන් ම නැති බව කියා ඇත. ශුක්‍ර‍ ධාතුව ශරීරය සැම තැන ම පැතිර පවත්නේ ය යි ද පුරුෂ නිමිත්තට සමීප ප්‍රදේශයේ අධිකව පවත්නේ යයි ද කියනු ලැබේ. අධික ශුක්‍රමෝචනයෙන් මුළු සිරුර ම දුබල වනු පෙනීමෙන් ඉන්ද්‍රිය දුබල වනු පෙනීමෙන් එය ශරීරය සැම තැන ම පැතිර ඇති සකල ශරීරයට ම වුවමනා දෙයක් බව සිතා ගත හැකි ය. ශරීරයට ශුක්‍ර‍ධාතුව අවශ්‍ය වන්නේ ද යම්කිසි ප්‍ර‍මාණයකට ය. එය පමණට වැඩි වූ කල්හි ඒවා තද වීමෙන් කිතියක් ඇති වේ. එයින් ශුක්‍ර‍ බැහැර කිරීමේ ආශාව ඇති වේ. බැහැර කිරීමට ද උපක්‍ර‍මයක් කළ යුතු වෙයි. උපක්‍ර‍මය නම් පුරුෂ නිමිත්ත යම්කිසිවක ගැටීම හෝ යම්කිසිවක් පුරුෂ නිමිත්තෙහි ගැටීම ය. ඒ ගැටීමෙන් ශුක්‍ර‍ධාතුව ශරීරයෙන් බැහැර වෙයි. ශුක්‍ර‍ය බැහැර වීමේදී සුවයක් වන බැවින් එයට සත්ත්වයාහට ආශාව ඇති වේ. ගැටීමට අවශ්‍ය ස්ත්‍රී පුරුෂ රූපවලට ද ආශාව ඇති වේ. බැහැර කිරීමේ ආශාව, බැහැර කිරීමේ දී වන සනීපයට ආශාව, ස්ත්‍රී පුරුෂ රූපාදියට ආශාව යන මේ ආශාවලට රාගය යි කියනු ලැබේ. ශුක්‍ර‍ධාතුවේ වැඩීමෙන් හා ප්‍රබෝධයෙන් රාගය ඇති වේ. රාග සහගත කල්පනා නිසා ශුක්‍ර‍ධාතුව ප්‍රබෝධ වේ. එයින් මෝචනය කිරීමේ ආශාව ඇති වේ. ඒ ආශාවෙන් මෝචනය කිරීමට උපක්‍ර‍මයක් කළ කල්හි ශුක්‍රමෝචනය ද වී නම් සංඝාදිසේසාපත්තියක් වේ. මෝචනාස්වාදය සහිත චේතනාවෙන් උපක්‍ර‍මයක් කළ කල්හි මෝචනය නො වී නම් ථුලැසි ඇවැත් වේ. රාගය නිසා කර්මණ්‍ය වී ඇති පුරුෂ නිමිත්ත අතින් හෝ කලවාවලින් තද කර ගෙන මෝචනය කිරීමේ අදහසින් හොත් කල්හි මෝචනය වී නම් සංඝාදිසේසාපත්තිය වේ. ඒ රාගචිත්තය අශුභ මනස්කාරයෙන් දුරු කොට සයනය කළහුට නින්දෙහිදී මෝචනය වූවහුට ද ඇවැත් නො වේ.

මේ සිකපදයෙන් අදහස් කරන සුක්කවිසට්ඨිය ශරීරයෙන් ශුක්‍ර‍ධාතුව බැහැර වීම ම නො වේ. පුරුෂ නිමිත්තෙහි මුත්‍රා ගල යන සිදුරේ මුලට මැස්සකුට පීමට තරමට වූ ද ශුක්‍ර‍ය පැමිණීම මෙහි අදහස් කරන සුක්කවිසට්ඨිය ය. උපක්‍ර‍මය කළ කල්හි ඒ හේතුවෙන් මැස්සකුට පීමට තරම් ශුක්‍ර‍ධාතුව පුරුෂ නිමිත්තේ මුල සිදුරට පැමිණියේ නම් සංඝාදිසේසාපත්තිය වේ. උපක්‍ර‍ම කිරීමෙන් ශරීරයේ ඒ ඒ තැන ඇති ශුක්‍ර‍ය පිහිටි තැන්වලින් ගිළිහුණ හොත් ඒවා අතරදී නො නැවැත්විය හැකිය. ඒවා පුරුෂ නිමිත්ත කරා ගලා ගොස් ඒකාන්තයෙන් ශරීරයෙන් බැහැර වන බැවින් තුබූ තැන්වලින් ගිළිහීමෙන් ම සංඝාදිසේසාපත්තිය වන බව දක්වා ඇත. අනුන් විසින් අත්පා මිරිකීම කය මිරිකීම අත ගෑම කරන කල්හි ද සමහර විට ශුක්‍රමෝචනය වේ. එයින් ඇවැත් නොවේ. ඇවැත් වන්නේ පුරුෂ නිමිත්තෙහි උපක්‍ර‍ම කිරීමෙනි.

‘සා ච ඛො නිමිත්තෙ උපක්කමන්තස්සෙව. හත්ථ-පරිකම්මපාදපරිකම්මගත්තපරිකම්මකරණෙන සචෙපි අසුචි මුච්චති අනාපත්ති. අයං සබ්බාවචරිය සාධාරණො විනිච්ඡයො.’[55]

අනුන් ලවා තමාගේ පුරුෂ නිමිත්ත ගන්වා උපක්‍ර‍ම කරවීමෙන් මෝචනය වුව ද සංඝාදිසේසාපත්ති වේ. ඇතැමුන්ට අනුන්ගේ පුරුෂ නිමිත්ත අල්වා මෝචනයට උපක්‍ර‍ම කිරීමේ ආශාව සමහර විට ඇති වේ. මනුෂ්‍යයන්ගේ අදහස් අනේකාකාරය. ඇතැම්හි ක්‍රීඩාවක් වශයෙන් ද එසේ කරති. තමාගේ මෙහෙයීමක් නැතිව ඔවුන්ගේ ම වුවමනාවට තමාගේ නිමිත්ත ගෙන මෝචනය කිරීමෙන් ඇවැත් නොවේ ය යි කියති යි සාරත්ථදීපනියෙහි කියා තිබේ.

ස්වප්න දැකීමේදී ඇති වන්නේ කායාංග චලනයට නො සමත් දුබල සිත් කොටසකි. එබැවින් ගමනාදි නොයෙක් ක්‍රියා ස්වප්නයෙන් කරන කල්හි ශරීරය නිදන ඉරියව්වෙන් නිශ්චලව පවතී. එසේ නිශ්චලව සිටීමේදී රාග නිශ්‍රිත සිහින දැක ශුක්‍රමෝචනය වීමෙන් ඇවැත් නොවේ. සිහින පෙනෙන්නේ මඳ නින්දේදී ය. ඒ අවස්ථාවේ ලෙහෙසියෙන් අවදි විය හැකි ය. රාග නිශ්‍රිත සිහින පෙනී ශුක්‍ර‍ මෝචනය නොවී පවත්නා අතර සමහර විට පුරුෂ නිමිත්ත ආසනයට තද කිරීමෙන් ද, අතින් ගැනීමෙන් ද මෝචනය වෙයි. තද කිරීම හෝ අතින් ගැනීම සිහිනයට අයත් නැත. එබැවින් එසේ ශුක්‍රමෝචනය වීමෙන් සංඝාදිසේසාපත්තිය විය හැකි ය. ඇතැමුන්ට සිහිනෙන් ශුක්‍රමෝචනය නිතර සිදුවේ. ඒ අයට සිහියෙන් නොසිටිය හොත් ස්වප්න මෝචනය නිසා සංඝාදිසේසාපත්තියට පැමිණීමට ද අවකාශ ඇත. මේවා තේරුම් ගැනීම අපහසුය.

විනීත වස්තු:

මේ සිකපදය පිළිබඳව විනීත වස්තු බොහෝ ගණනක් ඇත්තේ ය. මල පහකිරීමේ දී හා මුත්‍ර‍ කිරීමේ දී ද කාමයන් ගැන සිතීමේදී ද මෝචනය කිරීමේ අදහසින් තොරව සිදුවන මෝචනයෙන් ඇවැත් නැති බව විනීත වස්තූන්හි දක්වා ඇත. තව ද පුරුෂ නිමිත්තෙහි බෙහෙත් ගැල්වීමෙන් හා කැසීමෙන් සිදුවන මෝචනයටත් උණුදිය නෑමෙන් හා සැඩපහරෙහි නෑමෙන් ද මෝචනය කිරීමේ අදහසින් තොරව මෝචනය වීමෙන් ඇවැත් නැති බවත් වදාරා ඇත්තේ ය. මෝචනාභිප්‍රායයෙන් එසේ කොට මෝචනය වුව හොත් සඟ වෙසෙස් ඇවැත් වේ.

එකල එක් භික්ෂුවක් රාග සිතින් මාගමකගේ යෝනිය දෙස බලා සිටියේය. එයින් ඒ භික්ෂුවට ශුක්‍රමෝචනය විය. ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ කල්හි එයින් සංඝාදිසේසාපත්තියක් නො වන බව වදාරා මේ සිකපදය පනවා වදාළ සේක.

“න ච භික්ඛවේ සාරත්තො මාතුගාමස්ස අංගජාතං උපනිජ්ඣායිතබ්බං, යො උපනිජ්ඣායෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[56]

මහණෙනි, රාග සිතින් මාගමගේ යෝනිය නො බැලිය යුතුය. යමෙක් බැලුයේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

එදවස උපන් දැරියකගේ යෝනිය දෙස වුව ද රාග සිතින් නො බැලිය යුතු ය. වස්ත්‍ර‍ හැඳ සිටින මාගමගේ යෝනිය දෙස ඇති තැන සිතින් සලකා ගෙන ඉදිරියෙන් හෝ පිටිපසින් සිට බැලුව ද ඇවැත් වේ. තිරිසන් සතුන්ගේ නිමිත්ත බැලීමෙන් ද ඇවැත් වේ. යෝනිය දෙස බොහෝ වේලාවක් දිගට ම බලා සිටීමෙන් එක් ඇවැතක් වේ. නැවත නැවත බැලීමේ දී බලන වාරයක් පාසා ඇවැත් වේ. හදිසියේ දැක සංවරයෙහි පිහිටන්නහුට ඇවැත් නොවේ.

එක් භික්ෂුවක් නිදන සාමණේරයකුගේ පුරුෂ නිමිත්ත අතින් ඇල්ලීය. සාමණේරනමට ශුක්‍ර‍ මෝචනය විය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි එයින් භික්ෂුවට දුකුළා ඇවැත් වේ ය යි වදාළහ.

එක් භික්ෂුවක් මෝචනාභිප්‍රායයෙන් සාමණේරයකු ලවා තමාගේ නිමිත්ත ඇල්වීය. ඔහුට මෝචනය විය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ඒ භික්ෂුව සංඝාදිසේසාපත්තියට පැමිණි බව වදාළහ.

(මේ කථා පාරාජිකාපාළියෙනි.)

මේ සිකපදය ප්‍ර‍ථම පාරාජිකාව බඳු අනාණත්තික සිකපදයෙකි. නිමිත්ත අල්ලවා ගැනීමෙන් ඇවැත් වන්නේ එයත් තමාගේ ම ක්‍රියාවක් වන බැවිනි. සාමණේරයකුට ඔහුගේ නිමිත්තෙහි උපක්‍ර‍ම කර ශුක්‍ර‍ය මුදවන්නට අණ කළ කල්හි සාමණේරයා එසේ කොට ඔහුගේ ශුක්‍ර‍ය මෝචනය කළ හොත් උපසම්පන්නයාට අකප්පිය සමාදානයෙන් වන දුකුළා ඇවත මිස සංඝාදිසේසාපත්තියක් නො වේ.

ද්විතීය සංඝාදිසේසය

“යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන චිත්තෙන මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජෙය්‍ය, හත්ථගාහං වා වෙණිගාහං වා අඤ්ඤතරස්ස වා අඤ්ඤතරස්ස වා අංගස්ස පරාමසනං සංඝාදිසෙසො.”[57]

යම් මහණෙක් රාගය විසින් බැස ගත් සිත් ඇත්තේ ඒ නිසා ම නො මනා අතට පෙරළී ගිය සිතින් මාගමක් හා කයින් කය ගැටීමට පැමිණියේ නම් අත ඇල්ලීම හෝ කෙස් කළඹ ඇල්ලීම හෝ අන් ශරීරාවයවයක් ස්පර්ශ කිරීම හෝ කළේ නම් සංඝාදිසේසාපත්ති වේ.

රාගය අනේකප්‍ර‍කාර වේ. මේ සිකපදයෙහි දැක්වෙන රාගය නම් මාගමුන්ගේ සිනිඳු මොළොක් සිරුර ස්පර්ශ කිරීමේ ආශාව හා එයින් වන සුවය විඳීමේ ආශාව ය. එය ඇති වූ කල්හි සිතේ ප්‍ර‍කෘතිය වෙනස් වී එය නො මනා ආකාරයකට හැඩ ගැසේ. එසේ වීමට සිත පෙරළීමය යි කියනු ලැබේ. “ඔතිණ්ණ විපරිණතචිත්ත” යන මේ පද දෙකින් ම කියැවෙන්නේ රාග සහිත සිතයි.

මනුෂ්‍ය ස්ත්‍රියක් වීමය, ස්ත්‍රියක් යන හැඟීමය, කායසංසර්ගරාගයය, ඒ රාගයෙන් උත්සාහ කිරීමය, ස්පර්ශ කිරීමය කියා මේ සිකපදයට අංග පසක් ඇත්තේ ය. ස්ත්‍රියක්ය යන හැඟීම ඇතිව කායසංසර්ගරාගයෙන් එදවස උපන් මිනිස් මාගමකගේ කය වුව ද ඇඟිලි අගින් හෝ ස්පර්ශ කළහොත් සංඝාදිසේසාපත්ති වේ. ස්ත්‍රියක්ය යන හැඟීම ඇතිව කායසංසර්ගරාගයෙන් ස්ත්‍රියගේ සිරුරෙහි මවිල් ගසක් වුවද ස්පර්ශ කළ හොත් මේ ඇවත වේ.

ස්ත්‍රීන් විසින් භික්ෂුවගේ අතට ආහාරපානාදිය පිළිගන්වන කල්හි සමහර විට ඔවුන්ගේ අත් භික්ෂුවගේ අත්හි ගැටේ. එබඳු අවස්ථාවල භික්ෂුවට කායසංසර්ගරාගය නැති බැවින් ද, ස්පර්ශ කිරීමේ ව්‍යායාමයක් භික්ෂුව විසින් නො කරන හෙයින් ද ඇවැත් නැත. කායසංසර්ගරාගයෙන් පිළිගන්වන ස්ත්‍රියගේ අතත් ස්පර්ශ කරමින් දෙන දෙය පිළිගත හොත් සංඝාදිසේසාපත්ති වේ.

අන්ධකාරාදි කරුණක් නිසා ස්ත්‍රියක් ද, පුරුෂයෙක් ද, පණ්ඩකයෙක් ද කියා නිශ්චයක් නැතිව රාගසිතින් ස්ත්‍රී ශරීරයක් ස්පර්ශ කළ හොත් ථුලැසි ඇවැත් වේ. එසේ ස්ත්‍රී ශරීරය හා සම්බන්ධ වී ඇති වස්ත්‍රාදිය ස්පර්ශ කළ ද ථුලැසි ඇවැත් වේ. පුරුෂයෙක පණ්ඩකයෙක තිරිසනෙක යන හැඟීමෙන් ස්ත්‍රී ශරීරය ස්පර්ශ කළ ද ථුලැසි ඇවැත් වේ.

ලස්සන පිරිමි ළමුන්ගේ සිනිඳු මොළොක් සිරුර ස්පර්ශ කිරීමේ ආශාව ද බොහෝ දෙනාට ඇති වේ. එය ද කායසංසර්ගරාගයමය. එයින් ඇතැම්හු ලස්සන පිරිමි ළමුන් දුටු විට ඔවුන්ගේ හිස් අත ගාති. කම්මුල් අත ගාති. අත් අල්ලති. එසේ කිරීමෙන් භික්ෂූන්ට දුකුළා ඇවැත් වේ. ස්ත්‍රී ශරීරයකැයි සිතා පුරුෂයකුගේ ශරීරය ස්පර්ශ කිරීමෙන් ද දුකුළා ඇවැත් වේ. ලස්සන තිරිසන් සතුන් අත ගෑමේ ආශාව ද කායසංසර්ගරාගය ම ය. එයින් තිරිසන් සතුන් අත ගෑමෙන් ද දුකුළා ඇවැත් වේ. ස්ත්‍රී ශරීරය අතින් ම ස්පර්ශ නො කොට යම්කිසි උපකරණයකින් ස්පර්ශ කිරීමෙන් ද ථුලැසි ඇවැත් වේ. යම්කිසි උපකරණයකින් ස්ත්‍රියගේ වස්ත්‍රාදිය ස්පර්ශ කිරීමෙන් දුකුළා ඇවැත් වේ. යම්කිසිවක් ස්ත්‍රී ශරීරයට විසි කිරීමෙන් ද දුකුළා ඇවැත් වේ.

ඇතැම් ස්ත්‍රීහු ද සමහර විට රාගයෙන් මුළා වී භික්ෂූන් වෙත පැමිණෙති. ඒ කරදරය සිදුවන්නේ හුදකලාව වෙසෙන භික්ෂූන්ට ය. භික්ෂුවක් වෙත ස්ත්‍රියක් පැමිණ අඟපසඟ ස්පර්ශ කරන කල්හි භික්ෂුව ද සේවනාභිප්‍රායයෙන් ඇගේ පහස පිළිගැනීමට තමා ගේ කය යොමු කළ හොත් පහස විඳිය හොත් ඒ තෙකරුණෙන් ම භික්ෂුවට සංඝාදිසේසාපත්තිය වේ. සේවනාභිප්‍රායයෙන් කයින් උත්සාහ කළ ද පහස නො දැනුණ හොත් දුකුළා ඇවැත් වේ. සේවනාභිප්‍රායයෙන් කයින් උත්සාහ නො කොට ස්ත්‍රියගේ උත්සාහය නිසා පහස දැනගත ද ඇවැත් නො වේ. ස්ත්‍රියක පැමිණ කය ස්පර්ශ කිරීමේදී සේවනාභිප්‍රාය ඇත ද කයින් උත්සාහයක් නො කොට පහස දැනගත්තේ ද වින්දේ ද සිතින් පමණක් ඇවතට නොපැමිණෙන බැවින් ඒ භික්ෂුවට ඇවැත් නො වේ.

රෝහල්වල ප්‍ර‍තිකාර ලබන රෝගී භික්ෂූන්ට නොයෙක් විට හෙදියන්ගේ පහස ලබන්නට සිදු වේ. භික්ෂුව පහස ලැබීමේ ආශාවෙන් තමාගේ ශරීරයෙන් උත්සාහයක් නො කොට ඔවුන්ට කරන දෙයක් කිරීමට ඉඩ හැර නිශ්චලව සිටිය හොත් ඇවැත් නො වේ. පහස ලැබීමේ ආශාවෙන් තමාගේ ශරීරය එයට යොමු කළ හොත් ශරීරයෙන් මඳ ව්‍යායාමයක් වුවද කළ හොත් සංඝාදිසේසාපත්තිය වේ. ස්ත්‍රියක් පැමිණ බලහත්කාරයෙන් භික්ෂුවගේ ශරීරය වැලඳ ගත් විට ඇය පලවා හැරීම පිණිස ඇගෙන් මිදෙනු පිණිස තල්ලු කර දමන පහර දෙන ඒ භික්ෂුවට තමාගේ ශරීරයෙන් උපක්‍ර‍ම කිරීම හා පහස දැනීම නිසා ද ඇවැත් නො වේ. බලවත් මාගමක් විසින් වැළඳ ගත් දුබල භික්ෂුව තමාගේ නො කැමැත්ත දත් කල්හි ඇය යනු ඇතැයි නිශ්චලව සිටිය ද ඇවැත් නො වේ.

ස්ත්‍රී ශරීරය ස්පර්ශ කිරීමේ අදහස නැතිව පාත්‍ර‍ පිළිගැනීම් ආදියෙහිදී හදිසියෙන් සිදුවන ගැටීම්වලින් ද නො සිහියෙන් අත්පා දිග හැරීම් ආදියෙහිදී සිදුවන ගැටීම්වලින් ද ස්ත්‍රියක් බව නො දැන ස්පර්ශ කිරීමෙන් ද බලෙන් ඇදගෙන යන කලක ඒ ස්පර්ශය නො ඉවසන්නාක් මෙන් ස්ත්‍රී ශරීරයේ නො ඉවසන කල්හි ද ඇවැත් නො වේ.

විනීත වස්තු:

එසමයෙහි එක්තරා භික්ෂුවක් මාතෘප්‍රේමයෙන් මවගේ ශරීරය අත ගෑවේ ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි එයින් සංඝාදිසේසාපත්තිය නො වන බවත් දුකුළා ඇවැත් වන බවත් වදාළ සේක. දුහිතෘ ප්‍රේමයෙන් දුවගේ ශරීරය අතගෑ භික්ෂුවකටත්, සහෝදර ප්‍රේමයෙන් සොහොයුරියක අත ගෑ භික්ෂුවකටත් එසේ ම දුකුළා ඇවැත් වන බව වදාළ සේක.

(මේ කථා පාරාජිකා පාළියෙනි.)

කිනම් ස්ත්‍රියකගේ වුව ද ශරීරය බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට අන්තරායකර දෙයකි. එබැවින් විපතකදී වුව ද භික්ෂුවක් විසින් ස්ත්‍රි ශරීරයක් ස්පර්ශ නො කළ යුතුය. මව ගඟකට වැටී සැඩපහරට අසුවී පාවෙනු දුට ද නුවණැති ශික්ෂාකාමී භික්ෂුව විසින් ඇගේ ශරීරය නොඇල්ලිය යුතු ය. ඇය බේරා ගැනීම සඳහා ඔරුවක් හෝ ලී කොටයක් හෝ කෙසෙල් කඳක් හෝ එබඳු අනිකක් හෝ ළං කළ යුතු ය. එබන්දක් නැති කල්හි සිවුරෙන් කොණක් හෝ ළං කළ යුතුය. එය අල්ලන්නයයි නො කිය යුතුය. මව සිවුරේ කොන ගත් කල්හි සිවුරු අදිමිය යන අදහසින් ඇද මව බේරාගත යුතුය. ඉදින් මව බිය වී පුත්‍ර‍ භික්ෂුවගේ කරේ හෝ අතෙහි හෝ එල්ලුණේ නම් ඇය ඉවත් නො කොට ගොඩට ගත යුතු ය. වළක හෝ මඩක මව වැටී සිටින අවස්ථාවක් පැමිණිය ද එසේ පිළිපැදිය යුතුය. විපතෙහිදී කිනම් ස්ත්‍රියක් වුව ද හැර දැමීම නුසුදුසු ය. එහෙත් විපතේදී අන්‍ය ස්ත්‍රීන් ගැන පිළිපැදිය යුතු ආකාරයක් දක්වා නැත. මේවා ගැන කල්පනා කළ යුතුය. ස්ත්‍රී ශරීරය පමණක් නොව ස්ත්‍රීන්ගේ වස්ත්‍රාභරණ ද නො ඇල්ලිය යුතු ය. ඒවා ගැන විස්තරයක් මතු අන් තැනක දක්වනු ලැබේ.

යකින්නෝය, පණ්ඩකයෝය, මළ ස්ත්‍රීහුය යන මොවුන් හා කායසංස්ර්ගයට පැමිණීමෙන් ථුලැසි ඇවැත් වන බව වදාරා ඇත්තේය. ස්ත්‍රීන් අත ඇති දඬු ඇදීමෙන් හා වැල් ඇදීමෙන් ද පාත්‍රයෙන් ස්ත්‍රිය තල්ලු කිරීමෙන් ද ථුලැසි ඇවැත් වන බව වදාරා ඇත්තේ ය. තිරිසන් ස්ත්‍රීන් සමග කාය සංසර්ගයට පැමිණීමෙන් දුකුළා ඇවැත් වන බව වදාරා ඇත්තේ ය. ලස්සන තිරශ්චීන ස්ත්‍රී සත්ත්වයන් ඇතැම් භික්ෂූහු අත ගාති. වැලඳ ගනිති. එය නොමැනවි. එයින් දුකුළා ඇවැත් වේ.

ස්ත්‍රී රූප ස්පර්ශ කිරීමෙන් ද, ස්ත්‍රිය නැඟ සිටි ඔරුව රාගසිතින් සෙලවීමෙන් ද ස්ත්‍රිය නැඟ සිටි ගස සෙලවීමෙන් ද දුකුළා ඇවැත් වන බව වදාරා ඇත්තේය.

එක්තරා භික්ෂුවක් රාග සිතින් පෙරමග එන ස්ත්‍රියකට තමාගේ උරහිසින් ගැසීය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ඒ භික්ෂුවට සංඝාදිසේසාපත්තිය වූ බව වදාළහ.

එක්තරා භික්ෂුවක් ස්ත්‍රියක් වඳිනා කල්හි ඇයට ස්පර්ශ කිරීම සඳහා රාගයෙන් තමාගේ පය එසවීය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි එයින් සංඝාදිසේසාපත්තිය වූ බව වදාළ සේක.

(මේ කථා පාරාජිකාපාළියෙනි.)

ස්ත්‍රියක් පා අතගා වඳින්නට තැත් කරනවා නම් වැළැක්විය යුතු ය. පය හෝ වසාගත යුතු ය. පය නිශ්චලව හෝ තබා ගත යුතුය. පය නිශ්චල කොට තබා ගන්නා භික්ෂුවට සිතින් ස්පර්ශය ඉවසීම පමණින් ඇවැත් නො වේ.

තෘතීය සංඝාදිසේසය

“යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන චිත්තෙන මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසෙය්‍ය යථා තං යුවා යුවතිං මෙථුනූපසංහිතාහි සංඝාදිසෙසො.”[58]

යම් මහණෙක් දුට්ඨුල්ලාරෝචනරාගය විසින් බැස ගත් සිත් ඇත්තේ ඒ නිසා ම පෙරළී ගිය සිතින් තරුණයකු තරුණියකට කියන්නාක් මෙන් වර්චස් මාර්ග මුත්‍රාමාර්ග හා මෛථුනය පිළිබඳ වූ අසභ්‍ය වචන මාගමකට කියා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්තිය වේ.

වර්චස් මාර්ග මුත්‍ර‍ මාර්ග හා මෛථුනය පිළිබඳව කරන අසභ්‍ය කථා සංවරයක් ඇති ගිහි පැවිදි අයට අමිහිරි වුව ද ඇතැමුන්ට ඉතා මිහිරිය. ඒ රසය විඳිනු කැමැත්තෙන් ඇතැම්හු ඉමහත් සතුටින් හඬ නඟා සිනාසෙමින් ඒ අසභ්‍ය කථා කියති. ඒවා ඇසීමට ද ඇතැම්හු ඉතා කැමැත්තෝ ය. ඔවුහු ඉමහත් සතුටකින් මහහඬින් සිනාසෙමින් ඒවා අසති. අසභ්‍ය කථා කරන කෙනකු ඇති කල්හි ඒවා කියවීමට ද උත්සාහ කරති. ඔවුනට ඒ කථාවල යම්කිසි රසයක් මිහිරක් ඇත. ඒ රසය විඳීමේ ආශාව දුට්ඨුල්ලවාචාරාග නමි.

වර්චස්මාර්ග මුත්‍ර‍මාර්ග මෛථුන යන මේවායේ ගුණ වර්ණනා කිරීම, අගුණ කියා ඒවාට ගැරහීම, ඒවා ඉල්ලීම, ඒවා ගැන ප්‍ර‍ශ්න කිරීම, ඒවා ගෙන ආක්‍රෝශ කිරීම මේ සිකපදයට අයත් අසභ්‍ය වචන කීමය.

යම් භික්ෂුවක් අසභ්‍ය කථා කිරීමේ මිහිර විඳීමේ ආශාවෙන් මනුෂ්‍ය ස්ත්‍රියකට ඇයට තේරෙන බසකින් හෝ හස්තවිකාරාදියෙන් හෝ අසභ්‍ය කථාව කෙළේ නම් සංඝාදිසේසාපත්ති වේ.

මනුෂ්‍යජාතික ස්ත්‍රියක වීමය, ස්ත්‍රියක් යන හැඟීමය, අසභ්‍ය කථා කිරීමේ ආශාවය, ඒ ආශාවෙන් කීමය, ස්ත්‍රිය විසින් එකෙණෙහි ම තේරුම් ගැනීමය කියා මේ සිකපදයට අංග පසක් ඇත්තේ ය.

ස්ත්‍රියකට අසභ්‍ය කථා කී කල්හි ඇයට නො තේරුණේ නම් ථුලැසි ඇවැත් වේ. පණ්ඩකයකුට කීව ද ථුලැසි ඇවැත් වේ. මලමුත්‍රාමාර්ග හැර අකුඇටයෙන් යට දණින් උඩ ස්ත්‍රී ශරීරයේ ඒ ඒ කොටස්වල ගුණාගුණ කීමෙන් ද ථුලැසි ඇවැත් වේ. පණ්ඩකයකුට කීමෙන් දුකුළා ඇවැත් වේ. අකුඇටයෙන් උඩත් දණින් පහළත් කොටස්වල ගුණාගුණ කීමෙන් හා ස්ත්‍රී වස්ත්‍රාභරණවල ගුණාගුණ කීමෙන් ද දුකුළා ඇවැත් වේ. අසභ්‍ය වචන එක් ස්ත්‍රියකට කියන කල්හි වචන ගණනින් ඇවැත් වේ. බොහෝ ස්ත්‍රීන්ට කියන කල්හි ස්ත්‍රී ගණනින් හා වචන ගණනින් ඇවැත් වේ.

චතුර්ථ සංඝාදිසේසය

“යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන විත්තෙන මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසෙය්‍ය එතදග්ගං භගිනිපාරිචරියානං යා මාදිසං සීලවන්තං කල්‍යාණධම්මං බ්‍ර‍හ්මචාරිං එතෙන ධම්මෙන පරිචරෙය්‍යා ති මෙථුනූපසංහිතෙන සංඝාදිසෙසො.”

යම් මහණෙක් රාගය බැසගත් සිත් ඇත්තේ පෙරළී ගිය සිතින් මාගමක් සමීපයෙහි “නැගණියෙනි, යම් කතක් මා වැනි සිල් ඇතියකුට යහපත් පැවතුම් ඇතියකුට උසස් පැවතුම් ඇතියකුට ඒ මෛථුන ධර්මයෙන් උපස්ථාන කෙරේ නම් එය උපස්ථානයන් අතුරෙන් අග්‍ර‍ උපස්ථානය වන්නේය” යි තමාට කාමයේන උපස්ථාන කිරීමේ ගුණ මෛථුනය පිළිබඳ වචන වලින් පවසා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්ති වේ.

මනුෂ්‍යස්ත්‍රියක්ය යන දැනුම ඇතිව කාමයෙන් උපස්ථාන කරවා ගැනීමේ ආශාව ඇතිව මනුෂ්‍යස්ත්‍රියක සමීපයේ එහි ගුණ කීයේ නම් ස්ත්‍රිය ද කී දේ එකෙණෙහි තේරුම් ගත්තී නම් සංඝාදිසේසාපත්ති වේ. කී දෙය ස්ත්‍රියට නො තේරුණි නම් ථුලැසි ඇවැත් වේ. පණ්ඩකයකුට කිව ද ථුලැසි ඇවැත් වේ.

මනුෂ්‍යස්ත්‍රියක වීමය, ස්ත්‍රියක බව දැනීමය, කාමයෙන් උපස්ථාන කරවා ගැනීමේ ආශාවය, ඒ රාගයෙන් එහි ගුණ කීමය, එකෙණෙහි ම කී දෙය ස්ත්‍රියට වැටහීමය කියා මේ සිකපදයේ අංග පසෙකි.

විනීත වස්තු:

එසමයෙහි එක්තරා වඳ මාගමක් “ස්වාමීනි, දරුවන් ලබන්නට කුමක් කළ යුතු දැ”යි ඇසුරු කරන භික්ෂුවකගෙන් ඇසීය. එසේ නම් අග්‍ර‍දානය දෙව”යි භික්ෂුව කීය. “ස්වාමීනි, අග්‍ර‍දානය කුමක්දැයි” මාගම ඇසීය. “මෛථුනය” යි භික්ෂුව කීය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි එයින් භික්ෂුව සංඝාදිසේසාපත්තියට පැමිණියේ ය යි වදාළහ.

(පාරාජිකා පාළි)

එක්තරා භික්ෂුවක් පිරිමි දරුවන් ලැබීමට ක්‍ර‍මයක් විචාළ මාගමකට ද, එක්තරා භික්ෂුවක් සැමියාට ප්‍රියවීමේ උපායයක් විචාළ ස්ත්‍රියකට ද, එක්තරා භික්ෂුවක් සම්පත් ලැබීමට ක්‍ර‍මයක් විචාළ කතකකට ද, එක්තරා භික්ෂුවක් දෙන්නට දෙයක් විචාළ කතකට ද, එක්තරා භික්ෂුවක් සුගතියට යාමේ උපාය විචාළ කතකට ද මේ අග්‍ර‍දාන කථාව කීය. ඒ සැමදෙන ම සංඝාදිසේසාපත්තියට පැමිණි බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

පඤ්චම සංඝාදිසේසය:

“යො පන භික්ඛු සඤ්චරිත්තං සමාපජ්ජෙය්‍ය ඉත්ථියා වා පුරිසමතිං පුරිසස්ස වා ඉත්ථිමතිං ජායත්තෙන වා ජාරත්තෙන වා අන්තමසො තංඛණිකාය’ පි සංඝාදිසෙසො.”[59]

යම් මහණෙක් ස්ත්‍රී පුරුෂයන් අතර පණිවුඩ හුවමාරු කරන්නකු බවට පැමිණියේ වේ ද අඹුවක වීම පිණිස පුරුෂයාගේ අදහස ස්ත්‍රියට හෝ කියා ද, සැමියකු වීම පිණිස ස්ත්‍රියගේ අදහස පුරුෂයාට හෝ කියාද යටත් පිරිසෙයින් මඳ වේලාවකට බිරියක් වන කතකට වුව ද කියා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්ති වේ.

පණිවුඩ හුවමාරු කරවන අය මිනිසුන් වීමය, කෙනකුගේ අඹුවක් නො වන ස්ත්‍රියක වීමය, පණිවුඩය පිළිගැනීමය, ඒ ගැන විමසීමය, පණිවුඩය කියන්නහුට නැවත කාරණය දැන්වීමය කියා මේ සිකපදයට අංග පසක් ඇත්තේය.

ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ හෝ ඔවුන්ගේ මාපියාදි ආරක්ෂකයකුගේ හෝ පණිවිඩය පිළිගැනීම, විමසීම, ආපසු කීම යන මේ තුන් අංගයෙන් සංඝාදිසේසාපත්ති වේ. දෙකකින් ථුල්ලච්චයාපත්ති වේ. එකකින් දුකුළා ඇවැත් වේ. භේද වී සිටින මාපියන් අතර පණිවිඩ හුවමාරු කර දීමෙන් ද මේ ඇවත සිදුවිය හැකිය. පණ්ඩකයන්ට පණිවිඩ කීමෙන් වන්නේ ද ථුලැසි ඇවැත් ය. මෙය සාණත්තික සිකපදයෙකි. එබැවින් අතවැසියන් යොදා පණිවිඩ හුවමාරු කරවීමෙන් ද ඇවැත් වේ.

පණ්ඩකයෝ

සිකපද විස්තර කිරීමේ දී නොයෙක් තැන පණ්ඩකයන් සඳහන් වන නිසා මෙහි ඔවුන් ගැන හැඳින්වීමක්ද කළ යුතුය. පණ්ඩකයෝ නම් සෙස්සන්ට වඩා උත්සන්න කාමරාගය ඇති එයින් නිතර පෙළෙන දැවෙන පුද්ගල කොට්ඨාසයෙකි. ඔවුන් හැඳින ගැනීම අපහසු ය. බුද්ධකාලයේ පණ්ඩකයෙක් පැවිදිව භික්ෂූන් අතර විසුවේ ය. ඔහු තරුණ භික්ෂූන් කරා ගොස් තමා දූෂණය කරන්නය යි කීය. ඒ භික්ෂූහු ඔහුට ගර්හා කොට පලවා හැරියහ. ඉක්බිති ඔහු ස්ථුල සාමණේරයන් වෙත ගොස් දූෂණය කරන ලෙස කීය. සාමණේරයෝ ද ඔහුට නින්දා කොට පලවා හැරියහ. ඉක්බිති ඔහු ඇත්ගොව්වන් අස්ගොව්වන් වෙත ගොස් දූෂණය කරවා ගත්තේ ය. පණ්ඩකයා දූෂණය කළ ඇත්ගොව්වන් හා අස්ගොව්වන් “මේ ශ්‍ර‍මණයෝ පණ්ඩකයෝ ය, ඔවුන් අතර සිටින පණ්ඩක නොවන්නෝ ද පණ්ඩකයන් දූෂණය කරන්නෝය”යි භික්ෂූන්ට ගර්හා කරන්නට වූහ. ඒ කරුණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පණ්ඩකයන් පැවිදි කිරීම හා උපසම්පදා කිරීම ප්‍ර‍තික්ෂේප කර සිකපදයක් පැනවූ සේක. මේ මහා වග්ගපාළියෙහි[60] සඳහන් වන පුවතකි. පණ්ඩකයා දූෂණය කරවා ගත් ක්‍ර‍මය ගැන විස්තරයක් විනය ග්‍ර‍න්ථවල දක්වා නැත. සෙස්සන්ට වඩා කාමරාගයෙන් දැවෙන තැවෙන නිසා ම ඔවුහු පැවිද්දට නුසුදුස්සෝ ය.

ආසිත්තපණ්ඩකය උසූයපණ්ඩකය ඔපක්කමිකපණ්ඩකය පක්ඛපණ්ඩකය නපුංසකපණ්ඩකය යි පණ්ඩකයන් පස්දෙනකුන් විනය අටුවාවෙහි දක්වා ඇත. “ආසිත්ත පණ්ඩක” යනු මෛථුන සේවනයෙන් කාමපරිළාහය සන්සිඳවා ගත නොහෙන අන්‍යයන්ගේ පුරුෂ නිමිත්ත මුවින් උරා ශුක්‍ර‍ධාතුව ගැනීමෙන් කාමපරිළාහය සන්සිඳවා ගන්නා පුද්ගලයා ය. “උසූය පණ්ඩක” යනු තමාට මෛථුන සේවනයට සමත් කමක් නැති අනුන් මෛථුන සේවනය කරනු බලා එයින් කාමපරිළාහය සංසිඳවා ගන්නා පුද්ගලයා ය. “ඔපක්කමික පණ්ඩක” යනු උපක්‍ර‍මයෙන් බීජයන් උපුටන ලද පුද්ගලයා ය. බීජොත්පාටනය කළ පසු ඔහුගේ පුරුෂ නිමිත්ත කර්මණ්‍ය නො වන බවත් රැවුල් ආදියත් ක්‍ර‍මයෙන් නැති වන බවත් බීජයන් තිබිය දී පුරුෂ නිමිත්ත සිඳලීමෙන් පණ්ඩක නො වන බවත් කියති. “පණ්ඛ පණ්ඩක” යනු මාසයේ කාලපක්ෂ ශුක්ලපක්ෂ දෙකින් කාලපක්ෂයෙහි උමතු වන තරමට කාමරාගය උත්සන්න වී ශුක්ලපක්ෂයේ දී ඉබේ ම පන්සිඳී යන පුද්ගලයා ය. “නපුංසක පණ්ඩක” යනු උත්පත්තියෙන් ම ස්ත්‍රීභාවය හෝ පුරුෂභාවය නො පිහිටි පුද්ගලයා ය. නපුංසක පණ්ඩකයාට හැර ඉතිරි සතරදෙනාට පුරුෂභාවය ඇතය යි ද ස්ත්‍රීපක්ෂ පණ්ඩකයනුත් ඇතය යි ද කියති. මේවා අවිනිශ්චිත කරුණු ය.

ගරුකාපත්තියෙන් නැගීම

ගරුකාපත්තියට පැමිණි භික්ෂුව එයින් නැඟී සිටීමට හෙවත් පිරිසිදු වීමට ඒ ඇවත අන් භික්ෂුවකට ආරෝචනය නො කොට ගත කළ දින ගණනට සමාන දින ගණනක් පිරිවෙස් පුරා අනතුරුව සදිනක් මානත් පුරා විසිනමකට නො අඩු භික්ෂු සංඝයා ලබා අබ්භාන නම් වූ විනය කර්මය කරවා ගත යුතු ය. ඒ සියල්ල ම කරන සැටි විනයකර්ම පොතින්[61] දත හැකිය.

සංඝාදිසේසාපත්තියකට පැමිණිය හොත් එය භික්ෂුවකට ආරෝචනය කිරීමට ලැජ්ජා නො විය යුතුය. ආරෝචනය නො කොට එයින් ශුද්ධියට නො පැමිණිය හැකිය. පැමිණි දිනයේ දී ම භික්ෂුවකට ආරෝචනය කළ හොත් සදිනක් මානත පුරා අබ්භානකර්මය කර ගැනීමෙන් පිරිසිදු විය හැකිය. ආරෝචනය නොකොට වසාගෙන සිටිය හොත් පිරිවෙස පුරන්නට ද සිදුවේ. ආපත්තිය ආරෝචනය නො කොට දින ඉක්ම යාමට “පටිච්ඡන්නවීමය” යි කියනු ලැබේ. යම් දිනයකදී ආපත්තියට පැමිණියේ නම් එය ආරෝචනය කරන්නට පෙර පසුදින අරුණ නැංගේ නම් එක් දිනක් පටිච්ඡන්න වේ. දෙවන දිනයේ ආරෝචනය නො කොට තුන්වන දිනයේ අරුණ නැඟී නම් දෙදිනක් පටිච්ඡන්න වේ. මෙසේ පටිච්ඡන්න වීම දත යුතුය. ආපත්තිය ආරෝචනය කරනු ලැබූ භික්ෂුව විසින් අසවලා මෙනම් ඇවතකට පැමිණියේය යි තැන තැන කියමින් ඒ භික්ෂුවට නින්දා නො කළ යුතුය. ඒ භික්ෂුව ඇවතින් නඟා සිටුවීම ගැන කල්පනා කළ යුතුය. ඇවතින් නැඟී සිටීමට ඒ භික්ෂුවට ආධාර කළ යුතුය. ආරෝචනය කළ හොත් තැන තැන කියා අවමන් කරන සතුරු භික්ෂූන්ට ඇවැත් ආරෝචනය නො කළ යුතුය.

ඇවැත් පටිච්ඡන්න වීම පිළිබඳ කරුණු දශයක් ඇත්තේය. ගරුකාපත්තියකට පැමිණීම, ඇවතට පැමිණි බව දැනීම, උක්ඛේපනීය කර්මය කොට සංඝයා විසින් සම්භෝගයෙන් බැහැර කරන ලද්දකු නො වීම, බැහැර කරන ලද්දකු නො වන බව දැනීම, ආරෝචනය කිරීමෙන් විය හැකි අන්තරායයක් නැති බව, ඒ බව දැනීම, ආරෝචනය කිරීමට සමත් බව තිබීම, ඒ බව දැනීම, සඟවනු කැමැත්ත, සැඟවීම යන මේ කරුණු දශය පටිච්ඡන්න වීමේ අංගයෝ ය.

තමා අතින් ගරුකාපත්තියට පැමිණෙන දෙයක් සිදුවී ගරුකාපත්තියක් තමාට සිදුවිය යන හැඟීම ද ඇතිව ඒ ආපත්තිය සැඟවුව හොත් පටිච්ඡන්න වේ. තමාට සිදු වූ ඇවත ගරුකාපත්තියක් නොවේය යන හැඟීම නිසා ආරෝචනය නො කිරීමෙන් පටිච්ඡන්න නො වේ. ගරුකාපත්තිය ලහුකාපත්තියකැයි සිතා ඇවැත් දෙසුව ද ඇවතින් පිරිසිදු නො වේ.

ඇවත ඇවතක් වශයෙන් නො පිළිගන්නා වූද, ඇවැත්වලට පිළියම් නො කරන්නා වූ ද, ලාමක දෘෂ්ටිය හරනා ලෙස අනුශාසනා කළ ද ගත් දෘෂ්ටිය නො හරින්නා වූද භික්ෂූන් හික්මවීම සඳහා කරන විනය කර්මයක් ඇත්තේය. එයට “උක්ඛේපනීයකම්මය” යි කියනු ලැබේ. එය කරනු ලැබූ භික්ෂුව සංඝයා විසින් සම්භෝගයට නො ගනු ලැබේ. එබැවින් උක්ඛේපනීය කර්මය කරන ලද භික්ෂුවට ඇවතට පැමිණිය ද ආරෝචනය කිරීමට ඉඩක් නැත. එබැවින් ආරෝචනය නො කිරීමෙන් ඒ භික්ෂුවට ඇවත පටිච්ඡන්න නො වේ. එබඳු විනයකර්මයකින් සම්භෝගයෙන් ඉවත් කර නැති භික්ෂුවක් විසින් ඒ බව දැන දැනම ආරෝචන නො කෙළේ නම් ආපත්තිය පටිච්ඡන්න වේ.

ආපත්තිය ආරෝචනය කිරීමට භික්ෂුවක් වෙත යාමට ඇති මාර්ගය අන්තරාය සහිත වී ඇති නම් සුදුසු අවස්ථාවකදී ආරෝචනය කිරීමේ අදහසින් පසු කිරීමෙන් පටිච්ඡන්න නො වේ. අන්තරායයක් නැත ද ඇතය යන හැඟීමෙන් දින පසු කිරීමෙන් ද පටිච්ඡන්න නො වේ.

භික්ෂුවක් ඇති තැනකට යා නො හෙන ආරෝචනය කළ නො හෙන ආබාධයක් ඇති කල්හි ද දින ගත කිරීමෙන් පටිච්ඡන්න නො වේ. නොයා හැකි තරමේ අමාරුවක් නැතත් නො යා හැකිය යන හැඟීමෙන් දින පසු කරන්නා හට ද පටිච්ඡන්න නො වේ. යා හැකි බවත් තිබිය දී යා හැකිය යන හැඟීමත් තිබියදී දින පසු කළ හොත් පටිච්ඡන්න වේ.

ගරුකාපත්තියට පැමිණ එය ආරෝචනය කළ හැකි තත්ත්වයක් ද තිබියදී සැඟවීමේ අදහසින් ආරෝචනය නො කිරීමෙන් ආපත්තිය පටිච්ඡන්න වේ. භික්ෂූන් නැති පෙදෙසක වෙසෙන භික්ෂුව ආරෝචනය කිරීමට සභාග භික්ෂුවක් මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් සිටියදී භික්ෂුවක් නො හමු වීම නිසා දින ඉක්ම ගිය ද පටිච්ඡන්න නො වේ. ආරෝචනය කිරීම සඳහා භික්ෂුවක් වෙත ගමන් කරන භික්ෂුවට මාස ගණනක් ගත වුව ද ආපත්තිය පටිච්ඡන්න නො වේ. තමා පැමිණ සිටින ඇවතට ම පැමිණ සිටින භික්ෂුවකට ද ආපත්තිය ආරෝචනය නුසුදුසුය. එවැනි භික්ෂුවකට වුව ද ආරෝචනය කළ හොත් පටිච්ඡන්න නො වේ. එහෙත් එයින් දුකුළා ඇවතක් වේ. ආරෝචනය කළ හැකිව තිබියදී ආපත්තිය ආරෝචනය නො කරන්නා වූ භික්ෂුවට ආරෝචනය නො කිරීම නිසා දුකුළා ඇවැත් වේ. ඔහුට ආපත්ති ආරෝචනය නො කොට ගතවන දිනයක් පාසා ම අරුණෝදයේ දී ඒ දුකුළා ආපත්තිය වේ.

ආපත්‍යාරෝචනය

ආපත්‍යාරෝචන විධියක් විනයෙහි පැහැදිලි ලෙස දක්වා නැත. ඇවැත් දෙසීමේ ආකාරය වදාරා ඇත්තේ භික්ෂුවක් කරා එළඹ සිවුර ඒකාංස කොට පෙරවා උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ කළ යුතුය කියාය. ආපත්‍යාරෝචන විධිය ද ඒ අනුව සැලකිය යුතුය. ගරුකාපත්තියට පැමිණි භික්ෂුව සභාග භික්ෂුවක් වෙත ගොස් සිවුර ඒකාංස කොට පොරවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ආරෝචනය කළ යුතුය. එසේ හිඳ ඇඳිලි බැඳ සිදු වී ඇත්තේ එක් ඇවතක් නම් ආරෝචනය කරනු ලබන භික්ෂුව වැඩිමහල්ලෙක් නම් “අහං භන්තේ එකං සංඝාදිසෙසාපත්තිං තුය්හං සන්තිකෙ ආවිකරොමි” කියා හෝ “ආචික්ඛාමි” කියා හෝ ‘ආරොචෙමි’ කියා හෝ ආරෝචනය කළ යුතුය. ඇවැත් බොහෝ නම් ‘සම්බහුලා ආපත්තියො’ කියා ආරෝචනය කළ යුතුය. ‘සබ්බාපත්තියො ආවිකරොමි’ කියා හෝ ආරෝචනය කළ යුතුය. ගරුකාපත්ති නොයෙක් විට සිදුවිය හැකි බැවින් වර්තමාන භික්ෂූහු ඇවැත් දෙසන සැම වාරයකදී ම “අහං භන්තෙ සබ්බාපත්තියො ආවිකරොමි” යි සියලු ඇවැත් ආරෝචනය කෙරෙති. එසේ කළ ද ගරුකාපත්ති සිදුවී ඇති නම් ඒවා පටිච්ඡන්න නො වේ. ඇවැත් දෙසීමේ විධිය විනය කර්මපොතින්[62] දත හැකි බැවින් මෙහි නො දක්වමු.

පාත්‍ර‍ය පිළිබඳ ශික්ෂාපද

පිණ්ඩියාලොපභොජනං නිස්සාය පබ්බජ්ජා[63] යි වදාරා ඇති පරිදි පැවිද්ද ගෙදොරක් පාසා සිඟා ගොස් ලබන පිණ්ඩපාතභෝජනය නිසා එය ප්‍ර‍ධාන කොට පවත්නා දෙයකි. එබැවින්, ලොවුතුරා බුදුවරු ද ගෙදොරක් පාසා වැඩම කොට පිඬු සිඟා වැළඳූහ. පසේබුදුවරු ද, රහත්හු ද එසේ ම කළහ. බොහෝ භික්ෂූහු අද දක්වා ද එසේ කරති. අනාගතයෙහි එසේ කරන්නාහ. ඒ පිණ්ඩපාත භෝජනයට ඉතා ම සුදුසු භාජනය පාත්‍ර‍ය ය. එබැවින් සෑම භික්ෂුවකට ම පාත්‍ර‍යක් තිබිය යුතුය. එබැවින් “න භික්ඛවෙ අපත්තකො උපසම්පාදෙතබ්බො, යො උපසම්පාදෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[64] යි පාත්‍ර‍යක් නැතියකු උපසම්පදා නො කරන ලෙස සිකපදයක් ද පනවා ඇත්තේය. භික්ෂුවකට පාත්‍ර‍යක් තිබිය යුතුය යි කී පමණින් “භික්ෂුව පිණ්ඩපාත භෝජනය ම වැළඳිය යුතුය, පාත්‍රයේ ම වැළඳිය යුතුය” යි වරදවා තේරුම් නො ගත යුතුය. අන් ක්‍ර‍මවලින් ලැබෙන භෝජනයත් පාත්‍ර‍ය හැර අන් භාජනත් භික්ෂුවට කැප බව දත යුතුය. යම් භික්ෂුවක් ලෝකය රැවටීමේ අදහසින් තොරව අල්පේච්ඡතා ගුණයෙහි පිහිටා අන් බොජුනක් නො පිළිගනිමින් පිඬු සිඟා ගෙන ම වළඳනවා නම්, අන් බඳුනක් නො පිළිගෙන පාත්‍රයේ ම වළඳනවා නම් එය උසස් ප්‍ර‍තිපදාවකැයි කිය යුතුය. පාත්‍ර‍ය පිළිබඳ සිකපද බොහෝ ගණනක් ඇත්තේ ය. ඒවා නො දැන සිටින භික්ෂුවකට පාත්‍ර‍ය නිසා ම දිනපතා බොහෝ ඇවැත් සිදු විය හැකිය. එබැවින් පාත්‍ර‍ය පිළිබඳ විනය එය පරිහරණය කරන භික්ෂුව විසින් මැනවින් දැන සිටිය යුතුය.

දැනට පාත්‍ර‍ යන නාමයෙන් වෙළඳ සැල්වල තිබෙන සෑම භාජනය ම භික්ෂූන්ගේ පරිභෝගයට සුදුසු විනයානුකූල පාත්‍ර‍ නො වේ. සිකපද ඇත්තේ ද ඒවාට නොවේ. ඒවා ලද හොත් පාත්‍ර‍ වශයෙන් නොව වතුර ගැනීම් ආදිය සඳහා භාජන වශයෙන් පරිභෝග කිරීම වරද නැත. භික්ෂුවක් විසින් පාත්‍ර‍යක් වශයෙන් අධිෂ්ඨාන කොට පරිභෝග කළ යුත්තේ ඉතා කුඩා ද නො වූ පමණට වඩා මහත් ද නො වූ නියමිත ජාතියෙන් තනන ලද සෝදා පිරිසිදු කළ හැකි පරිදි මට්ටම ඇති ශ්‍ර‍මණසාරුප්‍ය වන පරිදි කළුපැහැය ගන්වන ලද පාත්‍ර‍ය ය. ඇතුළත මට්ටම නැති බැවින් සේදුව ද තෙල් ආදිය ඉතිරි වන පාත්‍ර‍ය පරිභෝග කරන්නහුට සන්නිධිකාරක සිකපදයෙන් ඇවැත් වන බැවින් භික්ෂූන්ට අයෝග්‍ය ය.

“න භික්ඛවෙ සොවණ්ණමයො පත්තො ධාරෙතබ්බො, න රූපියමයො පත්තො ධාරෙතබ්බො. න මණිමයො පත්තො ධාරෙතබ්බො. න වෙළුරියමයො පත්තො ධාරෙතබ්බො. න එලිකමයො පත්තො ධාරෙතබ්බො. න කංසමයො පත්තො ධාරෙතබ්බො, න කාවමයො පත්තො ධාරෙතබ්බො, න තිපුමයො පත්තො ධාරෙතබ්බො. න සීසමයො පත්තො ධාරෙතබ්බො, න තම්බලොහමයො පත්තො ධාරෙතබ්බො. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ද්වෙ පත්තෙ අයොපත්තං මත්තිකාපත්තන්ති.”[65]

තේරුම:

මහණෙනි, රන් පාත්‍ර‍ය නො දැරිය යුතුය. රිදී පාත්‍ර‍ය නො දැරිය යුතුය. මැණික් පාත්‍ර‍ය නො දැරිය යුතුය. පළිඟු පාත්‍ර‍ය නො දැරිය යුතුය. ලෝකඩ පාත්‍ර‍ය නො දැරිය යුතුය. වීදුරු පාත්‍ර‍ය නො දැරිය යුතුය. සුදු ඊයම් පාත්‍ර‍ය නො දැරිය යුතුය. කළු ඊයම් පාත්‍ර‍ය නො දැරිය යුතුය. තඹ පාත්‍ර‍ය නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, යකඩ පාත්‍ර‍ය මැටි පාත්‍ර‍ය යි පාත්‍ර‍ දෙකක් අනුදනිමි.

“න ච භික්ඛවෙ දාරුපත්තො ධාරෙතබ්බො. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස. න භික්ඛවෙ ඡවසීසස්ස පත්තො ධාරෙතබ්බො. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස. න භික්ඛවෙ තුම්බකටාහෙ පිණ්ඩාය චරිතබ්බං. යො චරෙය්‍ය ආපත්ති දුක්කටස්ස. න භික්ඛවෙ ඝටිකටාහෙ පිණ්ඩාය චරිතබ්බං. යො චරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[66]

තේරුම:

මහණෙනි, දැවයෙන් කළ පාත්‍ර‍ය නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, මිනී හිස් කබල පාත්‍ර‍ය වශයෙන් නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, ලබුකබලෙහි පිඬු පිණිස නො හැසිරිය යුතුය. යමෙක් හැසිරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, වළංකබලෙහි පිඬු පිණිස නො හැසිරිය යුතුය. යමෙක් හැසිරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

‘ලබුකබල හා වළංකබල තාවකාලික වශයෙන් හදිසි අවස්ථාවක දී පරිභෝග කිරීම වරද නැතය’ යි අටුවාවෙහි දක්වා ඇත්තේය. යකඩපාත්‍ර‍ය මැටිපාත්‍ර‍ය යන මේ දෙකින් මැටිපාත්‍ර‍ය වඩාත් පරිභෝගයට යහපත්ය. එහෙත් මේ රටේ පරිභෝගයට සුදුසු මැටිපාත්‍ර‍ නැත. තෙල් උරා නො ගන්නා වූ වතුරා උරා නො ගන්නා වූ පහසුවෙන් පිරිසිදු කළ හැකි වූ කළු පැහැය ගන්වන ලද්දා වූ මැටිපාත්‍ර‍ බුරුමයේ තනනු ලැබේ. එහි බොහෝ භික්ෂූහු මැටිපාත්‍ර‍ පරිභෝග කරති. විනය පොත්වල සඳහන් කරුණුවලින් පෙනෙන්නේ බුද්ධකාලයේ විසූ බොහෝ භික්ෂූන් ද මැටිපාත්‍ර‍ පරිභෝග කළ බවය.

පාත්‍රයේ ප්‍ර‍මාණය :

“තයො පත්තස්ස වණ්ණා උක්කට්ඨො පත්තො මජ්ඣිමො පත්තො ඔමකො පත්තො. උක්කට්ඨො නාම පත්තො අඩ්ඪාළ්හකොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියඤ්ච ව්‍යඤ්ජනං. මජ්ඣිමො නාම පත්තො නාළිකොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියඤ්ච ව්‍යඤ්ජනං. ඔමකො නාම පත්තො පත්ථොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියඤ්ච ව්‍යඤ්ජනං.”[67]

තේරුම:

පාත්‍රයේ ප්‍ර‍මාණ තුනෙකි. උත්කෘෂ්ට පාත්‍ර‍ය මධ්‍යම පාත්‍ර‍ය අවමක පාත්‍ර‍ය යි ප්‍ර‍මාණ අනුව පාත්‍රා තුනෙකි. උත්කෘෂ්ට පාත්‍ර‍ය සහල් දෙනැළියක බත ද එයින් සතරෙන් කොටසක් ඛාද්‍ය ද ඒ බතට සෑහෙන ව්‍යඤ්ජන ද ගන්නේය. මධ්‍යම පාත්‍ර‍ය සහල් නැළියක බත ද එයින් සතරෙන් කොටසක් ඛාද්‍යද එයට සෑහෙන ව්‍යඤ්ජන ද ගන්නේය. අවමක පාත්‍ර‍ය සහල් නැළි භාගයක බතද එයින් සතරෙන් කොටසක් ඛාද්‍ය ද ඒ බතට සෑහෙන ව්‍යඤ්ජන ද ගන්නේය.

උත්කෘෂ්ට පාත්‍ර‍යට මහත් වූ පාත්‍ර‍ය ද අවමක පාත්‍ර‍යට වඩා පාත්‍ර‍ය ද පාත්‍ර‍ නොවේ. ඒවා භාජන වශයෙන් මිස පාත්‍ර‍ වශයෙන් අධිෂ්ඨාන කොට පරිභෝගයට නුසුදුසුය. මෙහි අදහස් කරන නැළිය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ මගධරටෙහි භාවිත කළ නැළියය. ලංකාවේ නැළිය මගධ නැළියට මහත් බවත් දෙමළ නැළිය මගධ නැළියට කුඩා බවත් කියා තිබේ. මෙයින් අවුරුදු දෙදහස් පන්සියයකට පෙර මගධරට භාවිත කළ නැළියේ නියම ප්‍ර‍මාණය නො දත හැකිය. අටුවා ටීකා ලියූ කාලයේ ද එය ගැන ස්ථිර විනිශ්චයක් නොතිබිණි. සාමාන්‍යයෙන් හොඳට වැඩුණු ශරීරය ඇති නිරෝගී භික්ෂුවකට වරකට වැළඳීමට සෑහෙන ආහාර බහාලිය හැකි පාත්‍ර‍ය අවමක පාත්‍ර‍ය ලෙසත්, දෙදෙනෙකුට සෑහෙන ආහාරය බහාලිය හැකි පාත්‍ර‍ය මධ්‍යම පාත්‍ර‍ය ලෙසත්, සතර දෙනකුට සෑහෙන ආහාර බහාලිය හැකි පාත්‍ර‍ය උත්කෘෂ්ට පාත්‍ර‍ය ලෙසත් සැලකිය හැකිය. දැනට පරිභෝග කරන පාත්‍ර‍වලින් සමහරක් මධ්‍යම පාත්‍ර‍ වශයෙනුත් සමහරක් උත්කෘෂ්ට පාත්‍ර‍ වශයෙනුත් සැලකිය හැකිය.

සිවුරුවල හා පාවහන්වල පැහැය පිළිබඳ සිකපද විනයෙහි දක්නා ලැබේ. පාත්‍රයේ පැහැය පිළිබඳ සිකපද නො දක්නා ලැබේ. එහෙත් පාත්‍ර‍යට සුදුසු පැහැය කළුපැහැය බව කිය යුතුය. ගින්නෙන් පස්වරක් පලහන ලද යකඩ පාත්‍ර‍යත්, දෙවරක් පලහන ලද මැටිපාත්‍ර‍යත් අධිෂ්ඨානයට යෝග්‍ය බව විනය අටුවාවෙහි දක්වා ඇත. එසේ කරනුයේ කළුපැහැය ගැන්වීම සඳහා විය යුතුය. එය කරන ආකාරයක් විනය පොත්වල දක්වා නැත. පාත්‍ර‍ය කිනම් අයුරකින් හෝ කළුපැහැය කර ගැනීම සුදුසු බව සැලකිය හැකිය. පාත්‍ර‍ය පරිභෝග කිරීම සම්බන්ධයෙන් ද බොහෝ සිකපද ඇත. ඉදිරියෙහි ඒවා දක්වනු ලැබේ.

“න භික්ඛවෙ සඋදකො පත්තො පටිසාමෙතබ්බො. යො පටිසාමෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[68]

මහණෙනි, තෙත් පාත්‍ර‍ය තැන්පත් නො කළ යුතුය. යමෙක් තැන්පත් කෙළේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ සඋදකො පත්තො ඔතාපෙතබ්බො. යො ඔතාපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, දිය සහිත පාත්‍ර‍ය ගින්නෙන් හෝ අව්වෙන් නො වියළවිය යුතුය. යමෙක් වියළවන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. පාත්‍ර‍ය සෝදා දිය බින්දු පිස දමා වියළවිය යුතු ය.

“න භික්ඛවෙ උණ්හෙ පත්තො නිදහිතබ්බො. යො නිදහෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, බොහෝ වේලාවක් පාත්‍ර‍ය අව්වෙහි නො තැබිය යුතුය. යමෙක් තබා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. පාත්‍ර‍ය මඳ වේලාවක් අව්වෙහි තබා රත් වූ පසු ඉවත් කර ගත යුතුය.

“න භික්ඛවෙ මීඪන්තෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, ගෙපිල් කෙළවර පාත්‍ර‍ය නො තැන්පත් කළ යුතුය. යමෙක් තැන්පත් කළේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ පරිහණ්ඩන්තෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, ගෙයින් පිටත පටු පිලෙහි පාත්‍ර‍ය තැන්පත් නො කළ යුතුය. යමෙක් කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. “පරිභණ්ඩ” යනු ඇතැම් ගෙවල බිත්තිය සවිවීම පිණිස පිට පැත්තට පන්නා ඇති කොටසය. කයිඔරුවය යි ද කියති. ඒ තැන්වල තැබීමෙන් පාත්‍ර‍ය පෙරළී ගොස් පලුදු විය හැකිය. මැටිපාත්‍ර‍ය නම් බිඳී යා හැකිය.

“න භික්ඛවෙ පත්තො ලග්ගෙතබ්බො. යො ලග්ගෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[69]

මහණෙනි, පාත්‍ර‍ය එල්ලා නො තැබිය යුතු ය. යමෙක් තැබුයේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මෙයින් කියනුයේ භිත්තිවල සවිකර ඇති උල් ආදියෙහි මුවින් පාත්‍ර‍ය එල්ලීම ය. ථවිකයෙහි ලා පටියෙන් එල්ලා ගැනීම නො වේ.

“න භික්ඛවෙ පීඨෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, පුටුවෙහි පාත්‍ර‍ය නො තැබිය යුතු ය. යමෙක් තබා නම් දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ මඤ්චෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

ඇඳෙහි පාත්‍ර‍ය නො තැබිය යුතුය. තැබුව දුකුළා ඇවැත් වේ. පාත්‍ර‍ තැබීම සඳහා ම වෙන් කොට ඇති මේසයක ඇඳක තැබීමෙන් වරද නො වේ.

“න භික්ඛවෙ අංකෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, ඇකයෙහි පාත්‍ර‍ය නො තැබිය යුතුය. තබා නම් දුකුළා ඇවැත් වේ. ඇකය යනු උකුලය. වාඩිවී උකුළෙහි පාත්‍ර‍ය තබාගෙන කථා කරමින් හෝ අනික් වැඩක යෙදී හෝ සිටිනා කල්හි හදිස්සියෙන් පාත්‍ර‍ය බිම වැටෙන්නට ඉඩ ඇත. මේ සිකපදය පනවා ඇත්තේ ඒ නිසාය. ථවිකයෙහි ලා උරයෙහි එල්ලා ඇකයෙහි තබා ගැනීම වරද නැතැ යි කියා තිබේ. පුරාණ භික්ෂූන් ආහාර වළඳා තිබෙනු පෙනෙන්නේ ද පාත්‍ර‍ය ආධාරකයක තබා ගෙනය. දැනුදු බුරුම භික්ෂූන් වළඳන්නේ පාත්‍ර‍ය ආධාරකයක තබා ගෙනය. ලංකාවේ භික්ෂූන්ට පුරුදු වී ඇත්තේ උකුලෙහි පාත්‍ර‍ය තබා ගෙන වැළඳීම ය. නො වැටෙන ලෙස එක් අතකින් පාත්‍ර‍ය අල්වාගෙන එසේ වැළඳීමත් සුදුසුය යි කියති.

“න භික්ඛවෙ ඡත්තෙ පත්තො නික්ඛිපිතබ්බො, යො නික්ඛිපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”

කූඩයෙහි පාත්‍ර‍ය නො තැබිය යුතුය. තැබුව දුකුළා ඇවැත් වේ. කූඩය දිග හැර බිම තබා එහි පාත්‍ර‍ය තබා සිටි අතර සුළං අවුත් පාත්‍ර‍යත් සමග පෙරළී ගොස් පාත්‍ර‍ය බිඳීයාම නිමිත්ත කොට මේ සිකපදය පනවන ලද්දේ ය.

යම්කිසිවක් නො අතුළ රළුබිම පාත්‍ර‍ය තැබුවහොත් දුකුළා ඇවැත් වේ. පාත්‍ර‍යට දෝෂයක් නො වන මට්ටම් බිම හා වැල්ලෙහි තැබීම වරද නැත. දරණුවක හෝ අන් ආධාරකයක හෝ තැබීම සුදුසුය.

“න භික්ඛවෙ පත්තහත්ථෙන කවාටං පණාමෙතබ්බං. යො පණාමෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[70]

පාත්‍ර‍ය අතෙහි තබාගෙන දොරපියන් ජනේල පියන් ඇරීම වැසීම නො කළ යුතුය. කළ හොත් දුකුළා ඇවැත් වේ. කවර ශරීරාවයවයක හෝ පාත්‍ර‍ය තිබිය දී කිනම් ශරීරාවයවයකින් හෝ දොරක් ජනේලයක් ඇරීම වැසීම අගුල් පහත් කිරීම අගුල් දැමීම යතුරු දැමීම ඇරීම නො කළ යුතු බව අටුවාවෙහි දැක්වේ.්

“න භික්ඛවෙ වලකානි වා අට්ඨිකානි වා උච්ඡිට්ඨොදකං වා පත්තෙන නීහරිතබ්බං. යො නීහරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[71]

හප හෝ මාලුපස් කටු හෝ ගෙඩිවල ඇට හෝ ඉඳුල් දිය හෝ බැහැර කිරීම පිණිස පාත්‍රයෙන් නො ගෙන යා යුතුය. ගෙන ගියේ නම් දුකුළා ඇවැත් වේ. පාත්‍ර‍යට අත නො සේදිය යුතුය. අත්පා සේදූ දිය පාත්‍රයෙහි ලා ඉවතලීමට නො නෙ යා යුතුය. පිරිසිදු පාත්‍ර‍ය ඉඳුල් ඇති අතින් නො ඇල්ලිය යුතුය. වමතින් පාත්‍ර‍ය ගෙන වතුර වත්කොට ඉඳුල් සහිත අත ලා පාත්‍ර‍ය සේදීම වරද නැත. මත්ස්‍යමාංස ඵලාදිය වළඳන කල්හි ඉවතලිය යුතු කොටස් පාත්‍ර‍ තුළට නො දැමිය යුතුය. පාත්‍රයේ ඇති මස් මාලු කැබලිවල කටු පාත්‍රයෙහි ඉතිරි වන පරිදි මස්මාලු ගළවා වැළඳීම වරද නැත. මුවින් බැහැර කළ දෙයක් නැවත ද වැළඳීමට බලාපොරොත්තු ඇති නම් පාත්‍රයෙහි තබා ගැනීම සුදුසුය. නො එසේ නම් ඒවා පාත්‍රයෙහි නො තැබිය යුතුය. පොල් කැබලි ආදිය කටින් කඩාගෙන ඉතිරි වන කොටස පාත්‍රයේ තැබීම සුදුසු ය. මේ කරුණු දැන ගත ද නො දැන ගත ද ඉක්මවුවහොත් ඇවැත් වේ.

අතිරේක පාත්‍ර‍ ශික්ෂාපදය:

“දසාහපරමං අතිරෙකපත්තො ධාරෙතබ්බො. තං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තියං.”[72]

අතිරේක පාත්‍ර‍ය දසදිනක් පමණක් දැරිය යුතුය. එය ඉක්මවන්නාහට පාත්‍ර‍ය නිසගි වේ. පචිති ඇවැත් ද වේ.

අතිරේකපාත්‍ර‍ය යනු අධිෂ්ඨාන හෝ විකප්පනය හෝ නො කළ පාත්‍ර‍ය ය. භික්ෂුවක් පාත්‍ර‍යක් ලද හොත් එය දසදිනක් ඇතුළතදී අධිෂ්ඨාන හෝ කර ගත යුතුය. විකප්පය හෝ කළ යුතුය. ඒ දෙකින් එකකුදු නො කොට තබා ගත හොත් එකොළොස්වන දිනයේ අරුණ නැඟුණ කල්හි ඒ පාත්‍ර‍ය නිසගි වේ. පචිති ඇවැතක් ද වේ. ලැබෙන සැම පාත්‍ර‍යකින් ම මේ ඇත නො වේ. ඇවැත වන්නේ නියමිත ජාතියෙන් නියමිත ප්‍ර‍මාණයට කළ අධිෂ්ඨානයට යෝග්‍ය පාත්‍රයෙන් පමණෙකි. පාත්‍ර‍ කීපයක් අධිෂ්ඨාන නො කළ හැකිය. එක් පාත්‍ර‍යක් අධිෂ්ඨාන කරගෙන ඇති කල්හි තවත් පාත්‍ර‍යක් අධිෂ්ඨාන කළ ද ඒ අධිෂ්ඨානය සිද්ධියට නො පැමිණේ. පසුව අධිෂ්ඨාන කළ පාත්‍ර‍ය අතිරේක පාත්‍ර‍ස්ථානයෙහි ම සිටී. නිසගි වීමය යනු සංඝයාට හෝ ගණයාට හෝ එක් භික්ෂුවකට හෝ ඒ පාත්‍ර‍ය පවරා දිය යුතු වීමය. එසේ නො කොට ඒ පාත්‍ර‍ය තමාගේ දෙයක් හැටියට තබා ගෙන ඇවැත් දෙසුව ද ඇවතකින් පිරිසිදු නො වේ. නිසගි පාත්‍ර‍ය පුද්ගලයකුට නිස්සජ්ජනය කිරීම පහසු ය. එය කරන්නේ මෙසේය.

නිසගි වූ පාත්‍ර‍ය ගෙන එක් භික්ෂුවක් වෙත ගොස් සිවුර ඒකාංස කොට පොරවා උක්කුටිකව හිඳ ඒ භික්ෂුව වැඩිමහලු කෙනෙක් නම් පා වැඳ පාත්‍ර‍ය අතට ගෙන:

අයං මෙ භන්තෙ පත්තො දසහාතික්කන්තො නිස්සග්ගියො. ඉමාහං ආයස්මතො නිස්සජ්ජාමි”[73] යි කියා පාත්‍ර‍ය ඒ භික්ෂුව අතට දිය යුතුය. ඉක්බිති ඇවත දෙසිය යුතුය. ඉක්බිති පාත්‍ර‍ය පිළිගත් භික්ෂුව විසින් “ඉමං පත්තං ආයස්මතො දම්මි” යි කියා පාත්‍ර‍ය පෙරළා දිය යුතුය. බාල භික්ෂුවකට නිස්සජ්ජනය කරන කල්හි “අයං මෙ ආවුසො පත්තො දහාහාතික්කන්තො නිස්සග්ගියො. ඉමාහං ආයස්මතො නිස්සජ්ජාමි” යි කිය යුතුය. නිස්සජ්ජනය කොට ලද පාත්‍ර‍ය අධිෂ්ඨාන හෝ විකප්පනය නො කොට තබාගතහොත් දසදිනක් නික්මීමෙන් නැවත ද නිසගි වේ.

අධිෂ්ඨාන විධිය.

අලුත් පාතයයක් අධිෂ්ඨානය කිරීමේදී අධිෂ්ඨාන කළ පරණ පාත්‍ර‍යක් ඇති නම් එය පච්චුද්ධරණය කළ යුතුය. පාත්‍ර‍ය අත්පසෙහි ඇති නම් “ඉමං පත්තං පච්චුද්ධරාමි” යි තෙවරක් කියා පච්චුද්ධාරය කළ යුතුය. පාත්‍ර‍ය ඇත්තේ අන් තැනක නම් ඇති තැන සිහිකොට “එතං පත්තං පච්චුද්ධරාමි” යි කියා පච්චුද්ධාරය කළ යුතුය. ඉක්බිති අලුත් පාත්‍ර‍ය අධිෂ්ඨාන කළ යුතුය. පුරාණ පාත්‍ර‍ය අනිකකුට දී ද නවපාත්‍ර‍ය අධිෂ්ඨාන කළ යුතුය. අධිෂ්ඨානය කය වචන දෙකින් ම කළ හැකිය. පාත්‍ර‍ය අතින් පිරිමදිමින් “ඉමං පත්තං අධිට්ඨාමි” යි කියා අධිෂ්ඨාන කළ යුතුය. ඇත්තේ අන් තැනක නම් ඇති තැන සිතා “එතං පත්තං අධිට්ඨාමි” යි කියා අධිෂ්ඨාන කළ යුතුය. මාරුවෙන් මාරුව එකින් එක පච්චුද්ධරණය හා අධිෂ්ඨාන කිරීමෙන් වැඩි ගණනක් පාත්‍ර‍ ද පරිභෝග කළ හැකිය. පාත්‍ර‍ දෙකක් ඇති කල්හි එක් පාත්‍ර‍යක් ඉටා දින නවයක් පරිභෝග කොට එය පච්චුද්ධරණය කොට දෙවන පාත්‍ර‍ය අධිෂ්ඨාන කර නැවත නවවන දිනයේ එය පච්චුද්ධරණය කොට කලින් පච්චුද්ධරණය කළ පාත්‍ර‍ය ඉටා ගත යුතුය. මෙසේ ජීවිතාන්තය දක්වා ම පාත්‍ර‍ දෙක පරිභෝග කළ හැකිය. දිනපතා එකින් එක පච්චුද්ධරණය හා අධිෂ්ඨානයත් කිරීමෙන් පාත්‍ර‍ දසයක් වුව ද පරිභෝග කළ හැකි බව සමන්තපාසාදිකාවේ දක්වා ඇත්තේය.

“අච්ඡෙදදානගාහෙහි - විබ්භමා මරණුද්ධටා,

ලිංග සික්ඛාහි ඡිද්දෙන - පත්තොධිට්ඨාන මුජ්ඣති.”[74]

අනුන් විසින් පැහැර ගැනීමය, අන්හට දීමය, විශ්වාසයෙන් ගැනීමය, ගිහිවීමය, මරණයය, පච්චුද්ධාරයය, ලිංග පරිවර්තනයය, ශික්ෂාප්‍ර‍ත්‍යඛ්‍යානයය, සිදුරුවීමය යන මේ කරුණු අටින් පාත්‍රයේ අධිෂ්ඨානය කෙළවර වේ. පාත්‍රයේ ගැටියෙන් දෑඟුලකට යටින් යටත් පිරිසෙයින් තණ සහලින් පිසූ බත්හුලක් නික්මෙන තරමේ සිදුරක් වුව ද අධිෂ්ඨානය බිඳේ. එය පිළියම් කොට නැවත අධිෂ්ඨාන කළ යුතුය. පිළියම් කිරීමෙන් පසු දස දිනකින් මොබ අධිෂ්ඨාන නො කළ හොත් පාත්‍ර‍ය නිසගි වේ.

විකප්පන විධිය.

විකප්පනය යනු අතිරේක පාත්‍ර‍චීවරයන් නිසගි නො වන පරිදි තබා ගැනීමට ඇති විනයකර්මයකි. අතිරේක පාත්‍ර‍යක් ලද කල්හි එය තබාගනු කැමති නම් විකප්පනය කොට තබා ගත හැකිය. ඒ ක්‍ර‍මයෙන් සියගණනක් පාත්‍ර‍ වුව ද නිසගි නො වන ලෙස තබා ගත හැකිය. සම්මුඛාවිකප්පනය පරම්මුඛාවිකප්පනය යි විකප්පනා ක්‍ර‍ම දෙකකි. සම්මුඛාවිකප්පනය පහසුය. එය කරන්නේ මෙසේය:- අතිරේක පාත්‍ර‍ය භික්ෂුවක් වෙත ගෙන ගොස් සිවුර ඒකාංස කොට පෙරවා උක්කුටිකයෙන් හිඳ පාත්‍ර‍ය අතින් ගෙන “ඉමං පත්තං තුය්හං විකප්පෙමි” යි කිය යුතුය. එසේ කළ පසු ඒ පාත්‍ර‍ය කොතෙක් කල් වුව ද තබා ගත හැකිය. එහෙත් එය පරිභෝග නො කළ යුතුය. පාත්‍ර‍ය පිළිගත් භික්ෂුව විසින් “මය්හං සන්තකං පරිභුඤ්ජ වා විස්සජ්ජෙහි වා යථාපච්චයං කරොහි” යි කියා ආපසු දිය යුතුය. එසේ දීම “පච්චුද්ධාර” නම් වේ. ඉන් පසු ඒ පාත්‍ර‍ය අධිෂ්ඨාන කරනු කැමති නම් අධිෂ්ඨාන කළ හැකිය. අධිෂ්ඨාන කළ පාත්‍ර‍ය තිබියදී අතිරේක පාත්‍ර‍යක් වශයෙන් පරිභෝග කරනු කැමති නම් පරිභෝග කළ හැකිය. අනිකකුට දෙනු කැමති නම් දිය හැකිය. වැඩි ගණනක් පාත්‍ර‍ එකවර විකප්පනය කරනවා නම් “ඉමෙ පත්තෙ තුය්හං විකප්පෙමි” යි බහුවචනයෙන් කිය යුතුය. පච්චුද්ධාරයේදී ද “මය්හං සන්තකෙ” යි බහුවචනයෙන් කිය යුතුය. අසම්මුඛයෙහි අත්පසින් පිටත ඇති පාත්‍ර‍යක් විකප්පනය කිරීමේදී ඇති තැන විකප්පනය කරනු ලබන භික්ෂුවට දන්වා “එතං පත්තං තුය්හං විකප්පෙමි” යි කිය යුතුය. බොහෝ ගණනක් නම් බහුවචනයෙන් කිය යුතුය.

අධිෂ්ඨානය හෝ විකප්පනය නො කිරීමෙන් නිසගි වූ පාත්‍ර‍ය නිස්සජ්ජනය නො කොට පරිභෝග කරන්නහුට පරිභෝග කරන වාරයක් පාසා දුකුළා ඇවැත් වේ.

පාත්‍ර‍ය තමා සතුවීමය, නියම ජාතියෙන් කළ නියම ප්‍ර‍මාණය ඇති පාත්‍ර‍යක් වීමය, අතිරේක පාත්‍ර‍යක් වීමය, ලැබී දස දිනක් ඉක්මීමය යන චතුරංගයෙන් පාත්‍ර‍ය නිසගි වේ.

ඌන පඤ්චබන්ධන ශික්ෂාපදය.

“යො පන භික්ඛු ඌනපඤ්චබන්ධනෙන අඤ්ඤං නවං පත්තං චෙතාපෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං. තෙන භික්ඛුනා සො පත්තො භික්ඛුපරිසාය නිස්සජිතබ්බො, යො චතස්ස භික්ඛුපරිසාය පත්තපරියන්තො, සො තස්ස භික්ඛුනො පදාතබ්බො, “අයං තෙ භික්ඛු පත්තො යාව භෙදනාය ධාරෙතබ්බො” ති, අයං තත්ථ සාමීචි.”[75]

යම් මහණෙක් පස් තැනක් පිළියම් නො කළ පාත්‍ර‍යක් ඇතිව අන් අලුත් පාත්‍ර‍යක් ඉල්වා ගනී නම් ඒ පාත්‍ර‍ය නිසගි වේ. පචිති ඇවතක් ද වේ. ඒ භික්ෂුව විසින් ඒ පාත්‍ර‍ය භික්ෂු පිරිසක් මැද නිසජිය යුතුය. ඒ භික්ෂු පිරිසෙහි සියල්ලට ම ලාමක වූ පාත්‍ර‍ය “මහණ තා විසින් මේ පාත්‍ර‍ය බිඳෙන තෙක් දැරිය යුතුය” යි ඔහුට දිය යුතු ය. මේ එහි පිළිපැදිය යුතු ආකාරය ය.

පිළියම් කළ නො හෙන තරමට මහත් වූ එක් සිදුරක් ඇති වුව ද ඉල්ලා ගැනීමෙන් ඇවැත් නො වේ.

සිවුරු පිළිබඳ ශික්ෂාපද.

“අනුජානාමි භික්ඛවෙ ඡ චීවරානි, ඛොමං කප්පාසිකං කොසෙය්‍යං කම්බලං සාණ භංගං”[76]

යනුවෙන් සිවුරුවලට යෝග්‍ය රෙදි ජාති සයක් භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේ ය. “ඛෝම” යනු ඒ නම ඇති ගස්වල කෙඳිවලින් තනන රෙදිය. “කප්පාසික” යනු කපු නූලෙන් වියන රෙදි ය. “කෝසෙය්‍ය” යනු පට රෙදි ය. “කම්බල” යනු එළු ලොම්වලින් තනන රෙදි ය. “සාණ” යනු හණ කෙඳිවලින් වියන රෙදි ය. “භංග” යනු නොයෙක් නූල් මිශ්‍ර‍ කොට වියන රෙදි ය. කඩ කපා මසා පඬු රඳවා සිවුරු කොට පරිභෝග කළ හැකි විනිවිද නො පෙනෙන තවත් වර්ගවල වස්ත්‍ර‍, ඒ ජාති සයට අනුලෝම වශයෙන් සිවුරු වලට ගැනීම සුදුසු ය. දුහුල් රෙදිය, පත්තුණ්ණපටය, සෝමාරදේශයෙහි පටය, චීනදේශයෙහි පටය, සෘද්ධි බලයෙන් ලැබෙන සිවුරුය, දෙවියන්ගෙන් ලැබෙන සිවුරුය යන මේ සිවුරු ජාති සය ඉහත දැක්වූ ඛෝමාදි සිවුරු සයට අනුලෝම වශයෙන් ගත යුතුය යි විනයටීකාවන්හි දක්වා ඇත.

තීර්ථකයන් පරිභෝග කරන කුසචීර වාකචීර ඒළකචීර කේසකම්බල වාළකම්බල උලූකපක්ඛ අජිනක්ඛිප යන මේවා සිවුරු වශයෙන් දැරීමෙන් ථුලැසි ඇවැත් වන බව ද අක්කනාළ පොත්ථක යන මේවා දැරීමෙන් දුකුළා ඇවැත් වන බව ද චීවරක්ඛන්ධකයෙහි වදාරා ඇත්තේය.

“න භික්ඛවෙ අච්ඡින්නදසානි චීවරානි ධාරෙතබ්බානි. න දීඝදසානි චීවරානි ධාරෙතබ්බානි. න පුප්ඵදසානි චීවරානි ධාරෙතබ්බානි. න එණදසානි චීවරානි ධාරෙතබ්බානි. න කඤ්චුකං ධාරෙතබ්බං. න තිරීටකං ධාරෙතබ්බං. න වෙඨනං ධාරෙතබ්බං. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[77]

දහවලු නො කැපූ සිවුරුය, දික් දහවලු ඇති සිවුරුය, මල්දහවලු ඇති සිවුරුය, පෙණ දහවලු ඇති සිවුරුය, කඤ්චුකය, ගස්වල සිවිය, හිස්වෙළුම්ය යන මේවා දරන භික්ෂුවට ඉහත දැක්වූ සිකපදවලින් දුකුළා ඇවැත් වේ. කඤ්චුක යනුවෙන් කියැවෙන්නේ ගිහියන් පරිභෝග කරන කමිස බැනියම් ආදි ඇඳුමක් වශයෙන් ඇඟලන ඒවාය. අසංකඩය ද කඤ්චුකයක් ලෙස සාදා පරිභෝග කිරීමෙන් ඇවැත් විය හැකි බව සැලකිය යුතුය. ශීත දේශයකට ගිය භික්ෂුවකට වුව ද රෝගී භික්ෂුවකට වුව ද ලෝම බැනියම් කමිස පාවිච්චි කිරීමට විනයයෙන් ඉඩක් නැති බව සැලකිය යුතු ය. සමේ රෝග වසා ගැනීමට කණ්ඩුපටිච්ඡාදක නම් සිවුරක් නියම කර ඇත්තේය. අකැපයයි ඉහත කී සැම වස්ත්‍ර‍ ම සොරුන් විසින් සිවුරු කඩාගත් භික්ෂුවට පමණක් කැප බව සමන්තපාසාදිකාවේ අඤ්ඤාතක විඤ්ඤත්ති සිකපද වර්ණනාවේ දක්වා තිබේ.

සිවුරුවල පැහැය හා ප්‍ර‍මාණ ගැන දත යුතු කරුණු ශාසනාවතරණය[78] නමැති ග්‍ර‍න්ථයෙන් දත හැකි ය. එබැවින් සිවුරුවල පැහැය පිළිබඳ සිකපද පමණක් මෙහි දක්වනු ලැබේ.

“න භික්ඛවෙ සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බපීතකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බලොහිතකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බමඤ්ජෙට්ඨිකානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බ කණ්හානි චීවරානි ධාරෙතබ්බානි න සබ්බමංහාරංගරත්තානි චීවරානි ධාරෙතබ්බානි. න සබ්බ මහානාම රත්තානි චීවරානි ධාරෙතබ්බානි.”[79]

සිවුරු හැඳීම පෙරවීම පිළිබඳ සිකපද ශාසනාවතරණයෙන්[80] බලා ගත හැකිය. මෙකල සිවුරු යන නම ව්‍යවහාර වන්නේ තුන් සිවුරට ය. එහෙත් විනයෙහි සංඝාටිය, උත්තරාසංගය, අන්තරවාසකය, වස්සිකසාටකය, කණ්ඩුපටිච්ඡාදිකය, නිසීදනය, පච්චත්ථරණය, මුඛපුඤ්ජනවෝළය, පරික්ඛාරචෝළය කියා සිවුරු නවයක් නියම කර ඇත්තේය. ඒවායේ දිග-පළල ප්‍ර‍මාණය පිළිබඳ සිකපද ඇත්තේ වස්සිකසාටික, නිසීදන, කණ්ඩුපටිච්ඡාදික යන සිවුරු තුනට පමණෙකි. මෙ කල ඒවා භාවිත නො කෙරෙන බැවින් ඒ සිකපද මෙහි නොදක්වමු. තුන් සිවුරෙහි ප්‍ර‍මාණ අටුවාටීකාවල දක්වා තිබෙනවා මිස විනයපාළියෙහි ඒවා ගැන සිකපද නැත. පච්චත්ථරණ, මුඛපුඤ්ඡනචෝළ, පරික්ඛාරචෝළ යන මේවායේ ප්‍ර‍මාණ නියමයක් නැත. සකල චීවරයන්ගේ ම ප්‍ර‍මාණ නියමය පිළිබඳ එක් සිකපදයක් ඇත. ඒ මෙසේ ය.

“යො පන භික්ඛු සුගතචීවරප්පමාණං චීවරං කාරාපෙය්‍ය, අතිරෙකං වා ඡේදනකං පාචිත්තිං. තත්‍රිදං සුගතස්ස සුගතචීවරප්මාණං දීඝසො නවවිදත්ථියො සුගතවිදත්ථියා, තිරියං ඡ විදත්ථියො. ඉදං සුගතස්ස සුගතචීවරප්පමාණත්ති.”[81]

යම් භික්ෂුවක් සුගතචීවරය තරම් වූ හෝ එයටත් විශාල වූ හෝ සිවුරක් කෙළේ හෝ කරවූයේ හෝ වේ නම් සිවුරේ ඒ වැඩි කොටස සිඳ දෙසාගත යුතු පචිති ඇවතක් වේ. සුගතචීවරයේ ප්‍ර‍මාණය දිගින් සුගත් වියතින් නවවියතක්ද පුළුලින් සවියතක් ද වේය යනු සිකපදයේ තේරුමය.

මේ නිශ්චයකට බැස ගැනීමට දුෂ්කර සිකපදයෙකි. “සුගතවිදත්ථි නාම ඉදානි මජ්ඣිමස්ස පුරිසස්ස තිස්සො විදත්ථියො. වඩ්ඪකී හත්ථෙන දියඩ්ඪො හත්ථො හොති.”[82] යනුවෙන් සුගතවිදත්ථිය දැනට වෙසෙන මධ්‍යම පුරුෂයකුගේ අතින් තුන් වියතකි, වඩුරියනින් එක්රියන් හමාරකැයි අටුවාවෙහි කියයි. අටුවාවෙහි දැක්වෙන සැටියට සුගත්වියත ගණන් ගත හොත් සුගතචීවරය දිගින් දහතුන්රියන් හමාරක් ද පුළුලින් නවරියන් හමාරක් ද වේ. එපමණ මහත් සිවුරක් කිසිවකු නො කරන බැවින් මේ සිකපදය නිරර්ථක වේ. යමෙකුගේ අතින් දිගින් නවවියතට හා පළලින් සවියතකට කළ සිවුර දැනට සිවුරු පොරවන ආකාරයට ඔහුට පෙරවීමට ප්‍ර‍මාණ ද නො වේ. මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ හා බුදුන් වහන්සේ ඔවුනොවුන්ගේ සිවුරු මාරු කරගත් බව කස්සපසංයුත්තයේ දක්වා තිබේ. සුගතචීවරය ඉහත කී තරමට මහත් නම් එය මහකසුප් තෙරුන් වහන්සේට නො දැරිය හැකිය. එතරම් මහත් සංඝාටියක් වුවමනා තථාගතයන් වහන්සේට මහකසුප් තෙරුන් වහන්සේගේ සංඝාටිය ද ප්‍ර‍මාණ නො වන්නේ ය. තථාගතයන් වහ්නසේගේ සංඝාටිය පුණ්ණා නම් දාසියගේ මළසිරුරෙහි පොරොවා තුබූ වස්ත්‍රයෙන් කරන ලද්දකැයි සංයුක්ත අටුවාවෙහි දක්වා ඇත. දාසියක එතරම් මහත් සිවුරක් කිරීමට සෑහෙන වස්ත්‍ර‍යක් පොරවා තිබුණේය යි සිතීමට ද නුපුළුවන. කරුණු මෙසේ හෙයින් සුගත්වියත හා සුගත්සිවුර තේරුම් ගත නො හෙන කරුණක් වී ඇත. විමසත්වා!

චීවරාධිෂ්ඨාන විධිය.

චීවර සංඛ්‍යාවට අයත් වන වස්ත්‍ර‍යක් ලද හොත් එය අධිෂ්ඨාන හෝ විකප්පනය හෝ කළ යුතුය. එසේ නො කොට දසදිනක් ඉක්ම ගිය හොත් ඒවා නිසගි වේ.

“අනුජානාමි භික්ඛවෙ තිචීවරං අධිට්ඨාතුං, න විකප්පෙතුං වස්සිකසාටිකා වස්සානං චාතුමාසං අධිට්ඨාතුං, තතො පරං විකප්පෙතුං. නිසීදනං අධිට්ඨාතුං, න විකප්පෙතුං. පච්චත්ථරණං අධිට්ඨාතුං, න විකප්පෙතුං, කණ්ඩුපටිච්ඡාදිං යාව ආබාධා අධිට්ඨාතුං, තතො පරං විකප්පෙතුං. මුඛපුඤ්ඡනවොළකං අධිට්ඨාතුං, න විකප්පෙතුං. පරික්ඛාරවොළකං අධිට්ඨාතුං, න විකප්පෙතුං.[83]

තේරුම:

මහණෙනි, තුන්සිවුරු අධිෂ්ඨාන කරන්නට විකප්පනය නො කරන්නට, වස්සිකසාටිකය වස්සාන සාරමාසයෙහි අධිෂ්ඨාන කිරීමට ඉන් පසු විකප්පනය කිරීමට, නිසීදනය අධිෂ්ඨාන කරන්නට විකප්පනය නො කරන්නට, පච්චත්ථරණය අධිෂ්ඨාන කරන්නට විකප්පනය නො කරන්නට, කණ්ඩුපටිච්ඡාදිකය ආබාධය ඇති තාක් අධිෂ්ඨාන කරන්න්ට ඉන් පසු විකප්පනය කරන්නට, මුඛපුඤ්ඡනචෝළකය අධිෂ්ඨාන කරන්නට විකප්පනය නො කරන්නට, පරික්ඛාරචෝළය අධිෂ්ඨාන කරන්නට විකප්පනය නො කරන්නට අනුදනිමි.

තුන්සිවුරු අධිෂ්ඨාන කරන කල්හි ප්‍ර‍මාණයුක්ත සිවුරු ගෙන පඬු පොවා කප්ප බින්දු තබා එකින් එක වෙන වෙන ම අධිෂ්ඨාන කළ යුතුය. තුන්සිවුරු උඩත්පිරිසෙයින් සුගත්සිවුරට කුඩා විය යුතුය. යටත් පිරිසෙයින් සංඝාටිය දිගින් සතර රියනක් හා මිටි රියනක් තිබිය යුතුය. පළලින් දෙරියනක් හා මිටිරියනක් තිබිය යුතුය. උත්තරාසංගයත් එපමණ ම විය යුතුය. අඳනය දිගින් සතර රියනක් හා මිටිරියනක් ද පළලින් දෙරියන් හමාරක්් හෝ දෙරියනක් තිබිය යුතුය. ප්‍ර‍මාණයට කුඩා වූයේ නම් අධිෂ්ඨානයට යෝග්‍ය නො වේ. කයින් අධිෂ්ඨාන කිරීමය, වචනයෙන් අධිෂ්ඨාන කිරීමය යි අධිෂ්ඨාන ක්‍ර‍ම දෙකකි. එකක් අධිෂ්ඨාන කර ඇති කල්හි අනිකක් අධිෂ්ඨාන නො කළ යුතුය. එබැවින් සංඝාටියක් ලැබී එය අධිෂ්ඨාන කරන කල්හි පුරාණ සංඝාටිය පච්චුද්ධරණය කළ යුතුය. පච්චුද්ධරණය කිරීම යන්නෙහි අදහස ඒ චීවරය සංඝාටි ආදි වශයෙන් පරිභෝග කිරීමෙන් ඉවත් කිරීමය.

පුරාණ සංඝාටිය පච්චුද්ධරණය කොට නවසංඝාටිය අතට ගෙන එය පිරිමදිමින් “ඉමං සංඝාටිං අධිට්ඨාමි” යි සිතීම කයින් අධිෂ්ඨාන කිරීමය. එසේ ම “ඉමං උත්තරාසංගං අධිට්ඨාමි” යි සිතමින් උත්තරාසංගය ද, “ඉමං අන්තරාවසකං අධිට්ඨාමි” යි සිතමින් අන්තරවාසකය ද අධිෂ්ඨාන කළ යුතුය. “ඉමං චීවරං අධිට්ඨාමි” යි චීවර නාමයෙන් අධිෂ්ඨාන නො කළ යුතුය.

වචනයෙන් කරන අධිෂ්ඨානය ද දෙයාකාරයකින් කළ හැකිය. සංඝාටිය අත්පසෙහි වේ නම් “ඉමං සංඝාටිං අධිට්ඨාමි” යි ද, “ඉමං උත්තරාසංගං අධිට්ඨාමි” යි ද “ඉමං අන්තරවාසකං අධිට්ඨාමි” යි ද තුන්වර බැගින් කියා අධිෂ්ඨාන කළ යුතුය. අත්පසින් පිටත අන් තැනක ඇති චීවරයක් අධිෂ්ඨාන කරන කල්හි තිබෙන තැන සලකා ගෙන “එතං සංඝාටිං අධිට්ඨාමි, එතං උත්තරාසංගං අධිට්ඨාමි, එතං අන්තරවාසකං අධිට්ඨාමි” යි කියා අධිෂ්ඨාන කළ යුතුය. පච්චුද්ධාරයේදී ද දුර ඇති ඒවා පච්චුද්ධරණය කිරීමේ දී “ඉමං” යන වචනය වෙනුවට “එතං” යනු යොදා පච්චුද්ධරණය කළ යුතුය. විනයෙහි හත්ථපාස, අත්පස යන වචනය ව්‍යවහාර කරන්නේ දෙරියන් හමාරටය වස්සිකසාටික නිසීදනසන්ථක කණ්ඩුපටිච්ඡාදික යන මේ චීවර අධිෂ්ඨාන කළ යුත්තේ එක බැගිනි. පච්චත්ථරණ මුඛපුඤ්ඡනචෝළක පරික්ඛාරචෝළ යන මේවායේ ප්‍ර‍මාණයක් නැත. බොහෝ ගණනක් වුව ද අධිෂ්ඨාන කොට පරිභෝග කළ හැකිය. පරිභෝගයට ගන්නා වස්තු සෑම එකක් ම පරික්ඛාරචෝළ නාමයෙන් ඉටිය හැකිය. “ඉමං චීවරං පරික්ඛාරචෝළං අධිට්ඨාමි” යි කියා ඉටිය යුතුය. ඉටිය යුතු වස්ත්‍ර‍ බොහෝ වේ නම් සියල්ල එක්කොට තබා “ඉමානි චීවරානි පරික්ඛාරචොළානි අධිට්ඨාමි” යි කියා අධිෂ්ඨාන කළ යුතුය. පරික්ඛාරචෝළයට දිග පළල ප්‍ර‍මාණයක් නියම නැත. කිනම් වස්ත්‍ර‍යක් වුව ද පරික්ඛාරචෝළ නාමයෙන් ඉටා ගැනීමට සුදුසුය. පෞද්ගලික වශයෙන් ලැබුණු සුදුරෙදි තුවාය ආදී වස්ත්‍ර‍ සියල්ල දස දින ඉක්මෙන්නට කලින් අධිෂ්ඨාන කළයුතුය. බොහෝ දෙනකුට හෝ සංඝයාට අයත් පිරිකර නො බෙදා තිබෙන තෙක් අධිෂ්ඨාන විකප්පන නො කළ යුතුය. බෙදා පෞද්ගලික වූ පසු දසදිනයෙන් මොබ අධිෂ්ඨානය හෝ විකප්පනය හෝ කළ යුතුය. විකප්පනයට යෝග්‍ය ප්‍ර‍මාණය ඇති පෙරහන්කඩ පාත්‍ර‍ථවික ආදිය ද පරික්ඛරචෝළ වශයෙන් අධිෂ්ඨාන කළ යුතුය. සේනාසනභාණ්ඩ වශයෙන් පරිභෝග කරන කොට්ට මෙට්ට හා ඒවායේ උර හා ඇඳ පුටු මේසවලට එලන ඇතිරිලිවලට ද අධිෂ්ඨානය අනවශ්‍ය ය.

අධිෂ්ඨාන කරන ලද තුන්සිවුරු රාත්‍රියක් පාසාම භික්ෂුවගේ අත්පසෙහි තිබිය යුතුය. එක් රැයකුදු වෙන් ව වාසය කළ හොත් නිසගි පචිති වේ. එහි විස්තර ඒ පිළිබඳව පනවා ඇති සිකපදය විස්තර කිරීමේදී පසුව දත හැකි වනු ඇත. ඇතැම් භික්ෂූන්ට එසේ අධිෂ්ඨාන කොට තුන් සිවුරු පරිහරණයට පහසු නැත. ඒ භික්ෂූන් විසින් තුන් සිවුරු සංඝාටි ආදි නම් වලින් නො ඉටා “ඉමං චීවරං පරික්ඛාරචෝළං අධිට්ඨාමි” යනාදි වශයෙන් ඉටා පරික්ඛරචෝළ වශයෙන් පරිහරණය කළයුතුය. එසේ කරන කල්හි රත්තිවිප්පවුත්ථයෙන් නිසගි නො වේ.

චීවරාධිෂ්ඨානය බිඳීම.

අනිකකුට දීමය, සොරසතුරන් විසින් පැහැර ගැනීමය, අනිකකු විසින් විශ්වාසග්‍රාහයෙන් ගැනීමය, සිවුරු හැරීමය, ශික්ෂාප්‍ර‍ත්‍යාඛ්‍යානයය, මරණයය, ලිංග පරිවර්තනය, පච්චුද්ධාරයය, සිදුරුවීමය යන මේ කරුණු නවයෙන් චීවරාධිෂ්ඨානය බිඳේ. සිදුරු වීමෙන් අධිෂ්ඨානය පහවන්නේ තිචීවරයෙහි පමණෙකි. අනික් කරුණු අටින් සියල්ලෙහි ම අධිෂ්ඨානය බිඳේ. ඉතා ම කුඩා සිදුරක් වීමෙන් අධිෂ්ඨානය නො බිඳේ. සුළඟිල්ලේ නිය පිට පමණ සිදුරක් වුව හොත් අධිෂ්ඨානය බිඳේ. සිදුරු මැද නූල් එක දෙක හෝ ඉතිරි වී ඇති නම් අධිෂ්ඨානය රැකේ. අධිෂ්ඨානය බිඳෙන්නේ ද සංඝාටි උත්තරාසංග දෙක්හි දික් අතින් වියතකින් මොබ ද පළල් අතින් අටඟුලකට මොබින් ද සිදුරක් වීමෙනි. සිවුරු කෙළවරෙහි සිදුරක් වුව ද අධිෂ්ඨානය රැකේ. අන්තරවාසකයෙහි ද දිග් අතින් වියතකින් ද, පළලින් සතර අඟුලකින් ද ඇතුළේ වූ සිදුරෙන් ම අදිටන බිඳේ. සිදුරු වී අධිෂ්ඨාන ගිළිහුණු සිවුර පිළියම් කොට නැවත අධිෂ්ඨාන කළ යුතු ය. දෙපොට සිවුරෙහි එක පොටක් සිදුරු වුව ද අදිටන නො බිඳේ.

විකප්පනය

විකප්පනය යනු තමා අයත් දෙයක් අනිකකුට දීමකි. එහෙත් එය සම්පූර්ණ අයිතියට දීමක් නොව විනය කර්මයෙකි. එය කරන්නේ මෙසේ ය. සිවුර ඒකාංස කොට පොරවා භික්ෂුවක් සමීපයේ උක්කුටිකයෙන් හිඳ විකප්පනය කරන චීවරය අතින් ගෙන “ඉමං චීවරං තුය්හං විකප්පෙමි” යි කියා සිවුර දිය යුතු ය. එසේ කළ කල්හි සිවුර තමා වෙත තබා ගැනීමෙන් නිසගි නො වේ. එය පරිභෝග නො කළ හැකිය. නො දිය හැකිය. අධිෂ්ඨාන නො කළ හැකිය. විකප්පනය කරනු ලැබූ භික්ෂුව විසින් ඒ සිවුර “මයිහං සන්තකං පරිභුඤ්ජ වා විස්සජ්ජෙහි වා යථාපච්චයං වා කරොහි” කියා ආපසු දිය යුතුය. එසේ කිරීමට පච්චුද්ධාරය යි කියනු ලැබේ. එය කළ පසු සිවුර අධිෂ්ඨානයක් නැතිව ම පරිභෝග කළ හැකිය. සිවුරු බොහෝ ගණනක් එක වර විකප්පනය කරන හොත් “ඉමානි චීවරානි තුය්හං විකප්පෙමි” යි කිය යුතු ය. පච්චුද්ධාරය කරන භික්ෂුව විසින් “මය්හං සන්තකානි පරිභුඤ්ජෙහි වා විස්සජ්ජෙහි වා යථාපච්ඡයං කරොහි” යි කිය යුතු ය. දුර ඇති සිවුරු විකප්පනයේදී “එතං චීවරං, එතානි චීවරානි” යි සුදුසු පරිදි යොදා කිය යුතු ය.

“අනුජානාමි භික්ඛවෙ ආයාමෙන අට්ඨංගුලං සුගතංගු ලෙන චතුරංගුලවිත්ථතං පච්ඡමං චීවරං විකප්පෙතුං”[84] යි වදාරා ඇති බැවින් දිගින් සුගත් අඟුලෙන් අටඟුලක් ද පළලින් සතරඟුලක් ද ඇති වස්ත්‍ර‍ය විකප්පනය කළ යුතු ය. එයට කුඩා වූ වස්ත්‍ර‍ අධිෂ්ඨාන හෝ විකප්පනය නැතිව තබා ගැනීමෙන් ඇවැත් නැත. සුගතංගුලයෙන් අටඟුල සාමාන්‍ය ජනයාගේ දෙවියතකි. අඟල් සතර වියතෙකි.

සිවුරුවල කඩ කැපීම.

බුදුසස්න ඇති වුණු මුල් කාලයේ දී භික්ෂූහු කඩ නො කැපූ සිවුරු පරිභෝග කළහ. එක් දවසක් තථාගතයන් වහන්සේ රජගහනුවර සිට දක්ෂිණගිරියට වඩනාසේක් අතරමඟ මගධ දේශයේ කුඹුරක් දැක එය ආනන්ද ස්ථවිරයන් වහන්සේට දක්වා ඒ සැටියට කඩ කපා සිවුරු පිළියෙළ කරන ලෙස වදාළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ දක්ෂිණගිරියෙහි වැස රජගහනුවරට පෙරළා වැඩම කොට බොහෝ භික්ෂූන්ට කඩ කපා මැසූ සිවුරු පිළියෙළ කොට ඒවා භාග්‍යවතුන් වහන්සේට දැක්වූහ. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට පසසා:

“අනුජානාමි භික්ඛවෙ ඡින්නකං සංඝාටිං, ඡින්නකං උත්තරාසංගං, ඡින්නකං අන්තරාවාසකං”[85]

යි කඩ කපා මැසූ සංඝාටි උත්තරාසංග අන්තරවාසකයන් පරිභෝග කිරීම අනුදැන වදාළ සේක.

“න භික්ඛවෙ අච්ඡින්නකානි චීවරානි ධාරෙතබ්බානි. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[86]

මහණෙනි, කඩ නොකැපූ සිවුරු නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

තුන් සිවුරම කඩ කපා මසා ගැනීමට රෙදි මදි වුව හොත් දෙකක් කඩ කපා මසා ගැනීමටත් එකක් කඩ නො කපා දැරීමටත් භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළහ. දෙකක් කඩ කපා මසා ගැනීමට පවා රෙදි මඳ වුව හොත් එකක් කඩ කපා මසා ගැනීමටත් දෙකක් කඩ නො කපා දැරීමටත් අනුදැන වදාළහ. එසේ කිරීමටත් රෙදි මදි වුව හොත් කඩ කැපූ සේ පෙනෙන්නට රෙදිපටි ඇල්ලීමටත් අනුදැන වදාරා:

“න ච භික්ඛවෙ සබ්බං අච්ඡින්නකං ධාරෙතබ්බං, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[87]

යනු වදාළ සේක. යටත් පිරිසෙයින් කඩ කැපූ එක සිවුරකුදු නො ගෙන කඩ නො කැපූ සිවුරු ම දැරුව හොත් දුකුළා ඇවැත් වේ.

සිවුර මැසීමේදී ප්‍ර‍කෘති මැසීමෙන් ම මසනු මිස අලංකාරය පිණිස විශේෂ මැසීම් නො කළ යුතු බවත්, පඬු පෙවූ සිවුර තවත් වර්ණවත් කිරීම සඳහා යම් කිසිවක් නො කළ යුතු බවත්, සිවුර ඔප් ගැන්වීම පිණිස ගලකින් හෝ අන් කිසිවකින් මැදීම නො කළ යුතු බවත් පාළිමුත්තක විනය විනිච්ඡය ආදි පොත්වල දක්වා ඇත්තේ ය.

කඨින ශික්ෂාපදය.

“නිට්ඨිතචීවරස්මිං පන භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතබ්බං. තං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තියං.”[88]

සිවුරෙහි වැඩ අවසන්වීම් ආදියෙන් චීවර පළිබෝධය නැති වීමෙන් පසු සංඝයා විසින් අතුළ කඨිනය අෂ්ටමාතෘකාවන්ගෙන් යම් කිසිවකින් හෝ අතරදී සංඝයා විසින් කඨිනය ඉදිරීමෙන් හෝ ආවාසපළිබෝධය සිඳී ගිය පසු භික්ෂුව විසින් දසදිනක් ම අතිරේක චීවරය දැරිය යුතුය. ඒ දින සීමාව ඉක්මවන්නා වූ භික්ෂුවට ඒ චීවරය නිසගි වේ. පචිති ඇවතක් වේ.

අතිරේක චීවරය නම් විනයයෙහි නියමිත පරිදි අධිෂ්ඨානය හෝ විකප්පනය හෝ නො කළ චීවරය ය. චීවර යන වචනයෙන් කපා මසා පඬු පොවා ඇති චීවරයත් කියැවේ. සිවුරු කිරීමට ගත හැකි වස්ත්‍ර‍ ද කියැවේ. එබැවින් වැඩ නිමකළ සිවුරක් හෝ අන් වස්ත්‍ර‍යක් හෝ අතිරේක චීවරයක් වශයෙන් දස දිනකට වඩා තබා ගත හොත් ඇවැත් වන බව දත යුතුය.

භික්ෂූන්ට අතිරේක චීවරයන් දසදිනකට වැඩි කලක් තබා ගැනීමට බලය ඇති කාලයක් ද ඇත්තේ ය. කඨිනය ඇතුළ භික්ෂූන්ට වස්සාන සෘතුවේ අන්තිම මාසය, හේමන්ත සෘතුවේ සාරමාසය යන මේ පස්මාසයට හිමිවන විශේෂ කරුණු පසක් ඇත්තේ ය. ඒවාට “කඨිනානිසංසය” යි කියනු ලැබේ. ඉන් එකක් නම් ඒ පස්මාසය තුළ දී කැමති දින ගණනක් අතිරේක චීවරයන් තබා ගැනීමේ බලය ය. කඨිනානිසංසය නම් වූ ඒ බලය පස්මස ඉක්මෙන්නට කලින් ද අහෝසි වන කරුණු ඇත්තේ ය. මේ සිකපදයෙහි “නිට්ඨිතචීවරස්මිං උබ්භතස්මිං කඨිනෙ” යනුවෙන් දැක්වෙන්නේ කඨිනානිසංසය නැතිවීමය. කඨිනානිසංසය අහිමි භික්ෂුව විසින් අතිරේක චීවරයක් (වස්ත්‍ර‍යක්) දසදිනකට වඩා තබා ගත හොත් ඒ භික්ෂුවට නිසගි පචිතියක් වේය යනු මේ සිකපදයේ කෙටි තේරුම ය. කඨිනත්ථාරය හා කඨිනුබ්භාරයත් මෙතැන්හි දැක්විය යුතුව ඇතත් එය විස්තර කිරීමට පිටු ගණනක් ලියන්නට සිදුවන බැවින් එය නො කරනු ලැබේ.

මාසයේ පළමුවන දිනයෙහි වස්ත්‍ර‍යක් ලද හොත් එය අතිරේක චීවරයක් වශයෙන් දසවන දිනය තෙක් තබා ගත හැකි ය. දසවන දිනයේ රාත්‍රිය ඉක්ම ගොස් එකොළොස්වන දිනයට අරුණ නැංගේ නම් දසදිනය ඉක්මුණේ වේ. එයින් වස්ත්‍ර‍ය නිසගි වේ. නිසගි වූ සිවුර තබා ගෙන පරිභෝග කෙරේ නම් කරන වාරයක් පාසා දුකුළා ඇවැත් වේ. නිසගි වූ චීවරය කැප කර ගැනීමට හා ඒ ඇවැතින් මිදීමට පිළිපැදිය යුත්තේ මෙසේ ය.

ඒ අකැප වූ චීවරය ගෙන භික්ෂුවක් වෙත එළඹ සිවුර ඒකාංස කොට පොරවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ “ඉදං මෙ ආවුසො චීවරං දසාහාතික්කන්තං නිස්සග්ගියං. ඉමාහං ආයස්මතො නිස්සජ්ජාමි” යි කියා චීවරය භික්ෂුවකට නිස්සජ්ජනය කළ යුතු ය. ඉක්බිති ඇවැත් දෙසිය යුතු ය. ඉන් පසු සිවුර පිළිගත් භික්ෂුව විසින් “ඉමං චීවරං ආයස්මතො දම්මි” යි කියා චීවරය ආපසු දිය යුතු ය. දැන් එය අලුත් චීවරයක් විය. එය අධිෂ්ඨාන කර ගෙන හෝ විකප්පනය කර හෝ පරිභෝග කළ යුතු ය. නිසගි වූ සිවුරු බොහෝ ගණනක් නම් “ඉමානි මෙ අවුසො චීවරානි දසාහාතික්කන්තානි නිස්සග්ගියානි. ඉමානාහං ආයස්මතො නිස්සජ්ජාමි” යි බහුවචනවලින් කිය යුතු ය. නිස්සජ්ජනය කිරීමට කලින් යම්කිසි ක්‍ර‍මයකින් සිවුර නැති වී නම් විනාශ වී නම් ඇවත දෙසිය යුතුය. නිසගි වූ සිවුර නිස්සජ්ජනය නො කොට පරිභෝග කරන්නහුට පරිභෝග කිරීමක් පාසා දුකුළා ඇවැතක් ද අතිරේක වශයෙන් සිදු වේ.

චීවරය තමා අයත් බවය, නියම ජාතියේ නියම ප්‍ර‍මාණය ඇති සිවුරක් වීමය, පළිබෝධ නැති බවය, අතිරේක චීවරයක් වීමය, දස දිනක් ඉක්මීමය යි මේ සිකපදයට පඤ්චාංගයක් ඇත්තේ ය. මෙහි ප්‍ර‍මාණය විකප්පනය කිරීමට යෝග්‍ය ප්‍ර‍මාණය ය. එනම් දිගින් රියනක් හා පළලින් වියතක් තිබීමය. ඒ ප්‍ර‍මාණය නැති ඉතා කුඩා වස්ත්‍ර‍ය නිසගි නො වේ.

ද්විතීය කඨින ශික්ෂාපදය.

“නිට්ඨිතචීවරස්මිං පන භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ එකරත්තිම්පි චෙ භික්ඛු තිචීවරෙන විප්පවසෙය්‍ය අඤ්ඤත්‍ර‍ භික්ඛුසම්මුතියා නිස්සග්ගියං පාචිත්තියං.”[89]

සිවුරෙහි වැඩ අවසන් වීම් ආදියෙන් චීවර පළිබෝධය සිඳීමෙන් පසු කඨිනය උදුළ පසු භික්ෂුව එක් රාත්‍රියකුදු තුන්සිවුරෙන් වෙන්ව භික්ෂුසම්මුතියක් ද නැතිව විසූයේ නම් සිවුරු නිසගි වේ. පචිති ඇවැත් වේ.

මේ සිකපදයේ තිචීවරය යි කියනුයේ “ඉමං සංඝාටිං අධිට්ඨාමි” යනාදීන් නාම වශයෙන් අධිෂ්ඨාන කළ තුන් සිවුරුය. පරික්ඛාර චෝළ නාමයෙන් ඉටා ඇති සිවුරු විප්පවාසයෙන් නිසගි නො වේ. භික්ෂුව ගෙයක හෝ ශාලාවක වෙසේ නම් සිවුරු ඒ ගෙයි හෝ ශාලාවේ තබා ගත යුතුය. මාර්ගයේ ගමන් කෙරේ නම් ගෙන යා යුතුය. සිවුරු ගෙයක තබා ගෙයින් පිටත දෙරියන් හමාරකින් ඔබ සිටියදී අරුණ නැගුණේ නම් සිවුරු නිසගි වේ. අධිෂ්ඨාන කළ සිවුරු සියල්ල ම හෝ එකක් දෙකක් හෝ විහාරයේ තබා පිටත ගිය භික්ෂුවට අරුණට කලින් සිවුරු ඇති තැනට නො පැමිණිය හැක්කේ නම් ඒ සිවුරු පච්චුද්ධරණය කළ යුතුය. “එතං සංඝාටිං පච්චුද්ධරාමි” යනාදි වශයෙන් කියා දුර ඇති සිවුරු පච්චුද්ධරණය කළ හැකිය. අරුණට පෙර පච්චුද්ධරණය කළ හොත් නිසගි නො වේ. විප්පවාසයෙන් නිසගි වුව හොත් “ඉදං මෙ භන්තෙ චීවරං රත්තිං විප්පවුත්ථං අඤ්ඤත්‍ර‍ භික්ඛුසම්මුතියා නිස්සග්ගියං. ඉමා “හං ආයස්මතො නිස්සජ්ජාමි”යි කියා නිස්සජ්ජනය කොට ඇවත දෙසා නැවත සිවුර අධිෂ්ඨාන කර ගත යුතුය. සිවුරු දෙකක් හෝ තුන ම නිස්සජ්ජනය කරන්නට සිදු වී ඇත හොත් “එතානි මේ චීවරානි” යනාදීන් බහුවචනවලින් කිය යුතුය. යම්කිසි ගිලන්භික්ෂුවකට විප්පවාසය නො වන පරිදි තුන් සිවුරු පරිහරණය කිරීම අපහසු වී ඇති නම් ඒ භික්ෂුව විසින් ඒවා පරික්ඛාරචෝළ වශයෙන් ඉටා පරිහරණය කළ යුතුය. නැතහොත් වෙන්ව විසීමට භික්ෂු සම්මුතියක් ලබා ගත යුතුය. එය ලබා ගන්නා ආකාරය විනයකර්මපොතෙහි[90] දක්වා ඇත. සම්මුතිය ලත් භික්ෂුවට තිචීවරයෙන් වෙන්ව විසිය හැක්කේ රෝගය පවත්නා කාලයේ පමණෙකි.

අධිෂ්ඨාන කළ සිවුරු වීමය, කඨිනානිසංසය නැති බවය, භික්ෂුසම්මුතිය ලබා නැති බවය, අරුණෝදය තෙක් වෙන්ව විසීමය කියා මේ සිකපදයට අංග සතරක් ඇත්තේය.

දවස හා අරුණ.

දවස අරුණ යන මේ දෙක බොහෝ විනය ප්‍ර‍ඥප්තීන්ට සම්බන්ධය. එබැවින් විනය සිකපද රකින්නවුන් විසින් එදෙක දැන සිටිය යුතුය. දවස් ගණන් ගන්නා ක්‍ර‍ම තුනෙකි. දැනට පවත්නා ව්‍යවහාර ක්‍ර‍මයේ සැටියට දිනය පටන් ගැනෙන්නේ ද අවසන් වන්නේ ද මධ්‍යම රාත්‍රියෙනි. රාත්‍රියේ ඔරලෝසු පැයින් දොළොස්වන පැය ඉක්ම යන වේලාව, දිනය අවසන් වන වේලාව ද අනතුරු දිනය පටන් ගන්නා වේලාව ද වේ. ජ්‍යොතිශ්ශාස්ත්‍රයේ හැටියට දිනයේ පටන් ගැනීම හිරු උදාවෙන වේලාව ය. විනය ක්‍ර‍මයේ සැටියටදිනය පටන් ගැනෙන්නේ අරුණෝදයෙනි. අරුණ පිළිබඳ නානා මත ඇත්තේ ය. ඒ ගැන දීර්ඝ විස්තරයක් විනයාලංකාරටීකාවෙහි ඇත්තේය.

අරුණ යනු මඳ රත් පැහැයට නමෙකි. උදාවන සූර්‍ය්‍යයාගේ ආලෝකය උදාවීමට මඳක් කලින් අහසෙහි මඳ රත් පැහැයක් පෙනේ. ඒ රශ්මියටත් අරුණය යි කියනු ලැබේ. ඒ බව “සූරස්සොදයතො පුබ්බුට්ඨිතරංසි සියාරුණො” යනුවෙන් “අභිධානප්පදීපිකාවේ[91] කියා තිබේ. ඒ රත්පැහැය මුලින් දක්නා ලැබෙන්නේ හඳුනා ගැනීමටත් නුපුළුවන් වන තරමට ඉතා සියුම් ලෙසය. ක්‍ර‍මයෙන් එය වර්ධනය වී පැහැදිලි වෙයි. මේ අරුණාලෝකය සූර්යෝදයට පැය බාගයකට පමණ කලින් නැගෙනහිර දිග අහසෙහි දැකිය හැකිය. එය බලා අරුණ උදාවන කාලය සැලකිය යුතුය. අරුණ පිළිබඳ නිශ්චිත විනාඩි ගණනක් දැක්වීම දුෂ්කරය. වත්මානත් සමාදන්වූවන් අරුණ වරදවා අරුණට කලින් නික්ෂේප කළ හොත් රත්තිච්ඡේදය වේ.

තෘතීය කඨින ශික්ෂාපදය.

“නිට්ඨිතචීවරස්මිං පන භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ භික්ඛුනො පනෙව අකාලචීවරං උප්පජ්ජෙය්‍ය, ආකංඛමානෙන භික්ඛුනා. පටිග්ගහෙතබ්බං, පටිග්ගහෙත්වා ඛිප්පමෙව කාරෙතබ්බං, නො චස්ස පාරිපූරි, මාසපරමං තෙන බික්ඛුනා තං චීවරං නික්ඛිපිතබ්බං, ඌනස්ස පාරිපූරියාසතියා පච්චාසාය, තතො චෙ උත්තරිං නික්ඛිපෙය්‍ය සතියාපිපච්චාසායනිස්සග්ගියං පාචිත්තියං.”[92]

භික්ෂුවගේ චීවර පළිබෝධය සුන් වීමෙන් පසු කඨිනය උදුළ පසු භික්ෂුවට අකාලචීවරයක් උපන්නේ නම් එයට කැමති වන භික්ෂුව විසින් එය පිළිගත යුතු ය. පිළිගෙන වහා සිවුර කළ යුතු ය. ඉදින් ඒ වස්ත්‍ර‍ය සිවුරක් කිරීමට ප්‍ර‍මාණ නො වේ නම්, ඒ අඩුව සම්පූර්ණ කර ගැනීමට වස්ත්‍ර‍ යම් තැනකින් ලැබේය යන බලාපොරොත්තුව ඇත්තේ නම් එය මාසයක් තබා ගත යුතු ය. අඩුව ලැබීමේ බලාපොරොත්තුවෙන් වුව ද එය මසකට අධික කාලයක් තබා ගත්තේ නම් වස්ත්‍ර‍ය නිසගි වේ. පචිති ඇවැත් ද වේ.

මේ සිකපදයෙහි අතිරේක චීවරය යි කියනුයේ වැඩ නිම වූ චීවරයකට නොව වස්ත්‍ර‍යකට ය. විනයයෙහි “චීවරකාලසමයො නාම අනත්ථතෙ කඨිනෙ වස්සානස්ස පච්ඡිමො මාසො. අත්ථතෙ කඨිනෙ පඤ්චමාසා[93] යනුවෙන් චීවරකාලයක් නියම කර ඇත්තේ ය. කඨිනය නො අතුළ හොත් වස්සාන සෘතුවේ අන්තිම මාසයත් කඨිනය අතුළ හොත් පස්මසක් ද චීවර කාලය ය. කඨිනය අතුළ කල්හි පස්මසය කියනුයේ වස්සාන සෘතුවේ පශ්චිම මාසයට, හේමන්ත සෘතුවට අයත් සාරමාසයත් එකතු කිරීමෙනි. වප්මස අව පෑළවියේ පටන් ඉල්මස පුර පසළොස්වක දක්වා ඇති මාසය සාමාන්‍ය චීවර කාලයය. එය කඨින අතුරන කාලයය. එයට චීවර මාසය යි ද කියති. කඨිනය අතුළ හොත් ඉදිරියට ඇති සිවුමසත් චීවරකාලයට අයත් වී චීවර කාලය පස්මසක් වේ. කඨිනය නො අතුළ භික්ෂූන්ට චීවර කාලය මසෙකි. කඨින අතුළ භික්ෂූන්ට පස් මසෙකි. වස් විසූ තැන හැර යාම් ආදියෙන් ඇතැම් භික්ෂූන්ට පස්මස පිරෙන්නට කලින් ද චීවර කාලය කෙළවර වේ. ගිහියන් භික්ෂූන්ට සිවුරු හෝ සිවුරු පිණිස රෙදි හෝ පූජා කිරීමත් භික්ෂූන් විසින් තම තමන්ට සිවුරු පිළියෙළ කර ගැනීමත් බෙහෙවින් සිදු වන්නේ මේ චීවර කාලයේ ය.

කඨිනය නො අතුළ භික්ෂූන්ට අවුරුද්දෙන් එකොළොස් මසක් ද අතුළ භික්ෂූන්ට සත්මසක් ද අකාලය වේ. අකාලයේ ලැබෙන රෙදි හා සිවුරු අකාල චීවරයෝ ය. කාලයේදී ලැබෙන රෙදි ඒ කාලය තුළ කැමති දින ගණනක් තබාගෙන සෙමින් සිවුරු මසා ගෙන පසුව ඒවා අධිෂ්ඨාන කිරීමට හෝ විකප්පනය කිරීමට හෝ අවකාශය ඇත. අකාලයේ ලැබෙන වස්ත්‍ර‍ දස දිනයට වැඩි කාලයක් එසේ නො කොට අතිරේක චීවර වශයෙන් තබා ගැනීමට ප්‍ර‍ථම කඨින ශික්ෂාපදය නිසා ඉඩක් නැත. අකාලයේ ලැබෙන සිවුරු අතිරේක වශයෙන් දස දිනකට වැඩි කලක් තබා ගත හොත් ඒවා නිසගි වේ. ඇවැත් ද වේ. මේ තුන්වන කඨින ශික්ෂාපදය පනවා ඇත්තේ ප්‍ර‍ථම කඨින ශික්ෂාපදය මඳක් ලිහිල් කිරීමට ය. සිවුරු පිළිබඳව කාල නියමයක් කර ඇත්තේ එසේ නො කළ හොත් භික්ෂූන්ට චීවරපළිබෝධය කෙළවර නො වන බැවිනි.

අකාලයේ වස්ත්‍ර‍යක් ලද කල්හි ප්‍ර‍ථම කඨින ශික්ෂාපදය අනුව දසදිනකින් මොබ භික්ෂුව විසින් එයින් කළ හැකි දෙයක් කර එය අධිෂ්ඨාන කරගත යුතුය. භික්ෂුවට අකාලයේ ලැබුණු රෙද්ද ඔහුට මසා ගැනීමට, වුවමනා සිවුර කිරීමට මදි වේ නම් ඒ භික්ෂුවට ඒ අඩුව ලැබිය හැකි බව පෙනේ නම් ඒ ගැන බලාපොරොත්තුවෙන් මසක් තබා ගැනීමට මේ සිකපදය නිසා ඉඩ ලැබේ. බලාපොරොත්තු වන රෙදි ලැබීමෙන් පසු දසදිනක් ගත වන්නට කලින් සිවුර නිම කර අධිෂ්ඨාන කළ යුතුය. ලැබෙන රෙදි බලාපොරොත්තුවෙන් වුව ද මසකට අධික කාලයක් තබා ගත හොත් රෙද්ද නිසගි වේ.

අකාලචීවරය පිළිබඳව පිළිපැදිය යුත්තේ මෙසේය:- අකාලචීවරය ලද දිනයේ ම අඩු කොටස ද ලද හොත් දස දිනකට කලින් සිවුර නිම කළ යුතුය. ලැබී එක් දිනකට පසු අඩු කොටස ලද හොත් දසදිනක් ගත වන්නට පෙර සිවුර නිම කළ යුතුය. මෙසේ මූලචීවරය ලැබී විසිවන දිනයේ බලාපොරොත්තු වස්ත්‍ර‍ය ලද හොත් දස දිනක් ගතවන්නට පෙර සිවුර නිම කළ යුතුය. බලාපොරොත්තු වන වස්ත්‍ර‍ය විසිඑක් වන දිනයේ ලද හොත් නවදිනයකින් ද දෙවිසිවන දිනයේ ලද හොත් අට දිනකින් ද තෙවිසිවන දිනයේ ලද හොත් සත්දිනකින් ද සූවිසිවන දිනයේ ලද හොත් සදිනකින් ද විසිපස්වන දිනයේ ලද හොත් පස්දිනකින් ද සවිසිවන දිනයේ ලද හොත් සිවු දිනකින් ද සත් විසිවන දිනයේ ලද හොත් තෙදිනකින් ද විසිඅට වන දිනයේ ලද හොත් දෙදිනකින් ද විසිනව වන දිනයේ ලද හොත් එක් දිනකින් ද තිස්වන දිනයේ ලද හොත් එදින ම සිවුර කොට අධිෂ්ඨාන කළ යුතුය. විකප්පනය හෝ කළ යුතුය. බලාපොරොත්තු වූ වස්ත්‍ර‍ය තිස්වන දිනයේදී ද නොලද හොත් ඒ අකාල චීවරය පරික්ඛාරචෝළ වශයෙන් ඉටිය යුතුය. විකප්පනය හෝ කළ යුතුය. නො කළ හොත් නිසගි වේ.

තමා අයත් චීවරයක් වීමය, චීවරයට නියම ජාතියේ විකප්පනයට පොහෝනා වස්ත්‍ර‍යක් වීමය, කඨිනානිසංසය නැති බවය, අතිරේක චීවරයක් වීමය, ලැබී මසක් ඉක්ම යාමය යන මේවා මේ සිකපදයේ අංගයෝ ය.

“ඉදං මෙ ආවුසො අකාලචීවරං මාසාතික්කන්තං නිස්සග්ගියං. ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි අකාල චීවරය නිසගි වුව හොත් මේ වාක්‍යයෙන් නිස්සජ්ජනය කළ යුතුය.

අඤ්ඤාතකවිඤ්ඤත්ති සික්ඛාපදය.

“යො පන භික්ඛු අඤ්ඤාතකං ගහපති වා ගහපතානිං වා චීවරං විඤ්ඤාපෙය්‍ය අඤ්ඤත්‍ර‍සමයා නිස්සග්ගියං පාචිත්තියං. තත්ථායං සමයො, අච්ඡින්නචීවරො වා හොති භික්ඛු නට්ඨචීවරො වා. අයං තත්ථ සමයො.”[94]

යම් මහණෙක් නො නෑ වූ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ සුදුසු කාලය හැර අන් කලෙක සිවුරක් ඉල්ලා නම් ඒ මහණහුට නිසගි පචිති වේ. සුදුසු කාලය නම් සිවුරු පැහැර ගන්නා ලද කාලය හා ගින්නට හසුවීම් ආදියෙන් සිවුරු විනාශ වූ කාලයය.

මවුපසින් හා පියපසින් ඉහළටත් පහළටත් සත්වන පරම්පරාව දක්වා සබඳකම් ඇත්තෝ නෑයෝ ය. සෙස්සෝ නො නෑයෝ ය. භික්ෂුවකට කිනම් අවස්ථාවක වුව ද නෑයන්ගෙන් හා “සිවුරු වුවමනා විටෙක අපට දන්වන්නය, අපෙන් ඉල්ලන්නය” යි පැවරූ දායක දායිකාවන්ගෙන් ද සිවුරු ඉල්ලීම සුදුසු ය. පැවරූ අයත් දෙකොටසකි. ඇතැම්හු භික්ෂුවකට පැහැදුණු විට නුඹ වහන්සේ වුවමනා උපකාරයක් අපෙන් ඉල්ලන්නය, වුවමනා දෙයක් අපට කියන්නයයි ප්‍ර‍සාදය පළකිරීම් වශයෙන් පවරති. එයට “ධර්මනිමන්ත්‍ර‍ණය” යි කියනු ලැබේ. දීමේ අදහසින් තොරව එසේ පැවරූ අයගෙන් ඉල්ලීම නුසුදුසු ය. මේ සිකපදය පැනවීමට නිදානය වූයේ ද උපනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් ප්‍ර‍සාදය දැක්වීම් වශයෙන් කළ ධර්මනිමන්ත්‍ර‍ණය නිසා සිටුපුත්‍ර‍යකුගෙන් ඔහු පොරවා සිටි සළුව වද කොට ඉල්ලා ගැනීම ය. ඉල්ලීම සුදුසු වන්නේ දීමේ අදහසින් ම පැවරූ දායක දායිකාවන්ගෙන් ය. නො නෑ නො පැවරූ අයගෙන් සිවුරු ඉල්ලා ගැනීම සුදුසු වන්නේ සොරුන් විසින් සතුරන් විසින් පැහැර ගැනීමෙන් හෝ ගින්නෙන් දියෙන් සුළඟින් හෝ සතුන් කෑමෙන් හෝ දිරා ඉරීයාමෙන් හෝ භික්ෂුවට සිවුරු නැත්තට ම නැති වූ අවස්ථාවක පමණෙකි. ඒ අවස්ථාව නො නෑ නො පැවරූ අයගෙන් ඉල්ලීමට සුදුසු කාලයය. නො නෑ නො පැවරූ ගිහියකුගෙන් යටත් පිරිසෙයින් දිගින් රියනක් හා පළලින් වියතක් ඇති රෙදිකඩක් වුව ද අසමයෙහි ඉල්ලා ගත නිසගි පචිති වේ. එසේ ලබාගත් චීවරය:-

“ඉදං මෙ ආවුසො චීවරං අඤ්ඤාතකං ගහපතිකං අඤ්ඤත්‍ර‍ සමයා විඤ්ඤාපිතං නිස්සග්ගියං, ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි කියා නිස්සජනය කොට ඇවත දෙසිය යුතු ය.

විකප්පනයට ප්‍ර‍මාණ වන වස්ත්‍ර‍යක් වීමය, අසමය වීමය, නො නෑයකුගෙන් ඉල්ලීමය, ඒ ඉල්ලීමෙන් ලැබීම ය යි මේ සිකපදයේ අංග සතරෙකි.

තතුත්තරි ශික්ෂාපදය

“තඤ්චෙ අඤ්ඤාතකො ගහපති වා ගහපතානි වා බහූහි චීවරෙහි අභිහට්ඨුං පවාරෙය්‍ය සන්තරුත්තරපරමං තතො චීවරං සාදිතබ්බං, තතෙවෙ උත්තරිං සාදියෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං.”[95]

ඒ සිවුරු නැසුණු භික්ෂුවට නො නෑ ගැහැවියෙක් හෝ ගැහැවිනියක් හෝ බොහෝ සිවුරුවලින් පවරා නම් ඒ භික්ෂුව විසින් අඳනයට පොරෝනයට සෑහෙන පරිදි රෙදි පමණක් පිළිගත යුතු ය. එයට වඩා පිළිගනී නම් නිසගි පචිති වේ.

සිවුරු නැති වූ භික්ෂුව නො නෑයකුගෙන් සිවුරු ඉල්ලූ කල්හි ඔහු “ඔබ වහන්සේට වුවමනා තරම් ගන්නය කියා බොහෝ රෙදි පාමුල තැබූයේ හෝ අපගේ ගබඩාවෙන් වුවමනා තරම් රෙදි ගන්නය”යි කීයේ හෝ වේ නම් එයින් අඳනයක් හා පොරෝනයක් කර ගැනීමට සෑහෙන තරම් රෙදි ගත යුතු ය. අධිකව නො ගත යුතුය. සිවුරු දෙකකට රෙදි ගත යුත්තේ ද තුන් සිවුරු ම නැති වූ භික්ෂුව විසිනි. සිවුරු දෙකක් නැති වූ භික්ෂුව විසින් එක් සිවුරකට පමණක් රෙදි ගත යුතු ය. තුන් සිවුරෙන් එකක් පමණක් නැති වූ භික්ෂුව විසින් එකකුදු නො පිළිගත යුතු ය. එසේ ඉල්ලා පමණට වඩා රෙදි පිළිගත්තේ නම් නිසගි පචිති වේ. පිළිගත් වැඩි රෙදි “ඉදං මෙ ආවුසො චීවරං අඤ්ඤාතකං ගහපතිකං තතුත්තරිං විඤ්ඤාපිතං නිස්සග්ගියං, ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි නිස්සජනය කොට ඇවැත් දෙසිය යුතු ය.

අඳනයට හා සිවුරට හරියට ම රෙදි ගැනීම අපහසු නිසා සිවුරු කපා වැඩි හරිය ආපසු ගෙනැවිත් දෙමි ය කියා අධික කොට රෙදි ගත් කල්හි දුන් ගිහියා ඉතුරු වන රෙදිත් ඔබ වහන්සේ ම ගන්නය යි කිව හොත් වැඩි රෙදි ගැනීමෙන් ද ඇවැත් නො වේ. පමණට රෙදි ගත් භික්ෂුවගේ යම්කිසි ගුණයකට පැහැදී තවත් රෙදි දුන්නේ නම් ගැනීමෙන් ද ඇවැත් නැත.

පමණට වැඩි බවය, සිවුරු නැතිවීම නිසා ලද බවය, නො නෑයකුගෙන් ඉල්ලීමය, ලැබීමය යි මේ සික පදයට අංග සතරක් ඇත්තේ ය.

උපක්ඛට ශික්ෂාපදය

“භික්ඛුං පනෙව උද්දිස්ස අඤ්ඤාතකස්ස ගහපතිස්ස වා ගහපතානියා වා චීවරචෙතාපන්නං උපක්ඛටං හොති, ඉමිනා චීවරචෙතාපන්නෙන චීවරං චෙතාපෙත්වා ඉත්ථංනාමං භික්ඛුං චීවරෙන අච්ඡාදෙස්සාමීති, තත්‍ර‍ චෙසො භික්ඛු පුබ්බේ අප්පවාරිතො උපසංකමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජෙය්‍ය, සාධු වත මං ආයස්මා ඉමිනා චීවරචෙතාපන්නෙන එවරූපං වා එවරූපං වා චීවරං චෙතාපෙත්වා අච්ඡාදෙහීති කල්‍යාණකම්‍යතං උපාදාය නිස්සග්ගියං පාචිත්තියං.”[96]

මේ මුදලින් මෙනම් භික්ෂුවට සිවුරක් ගෙන පුදමි යි ඒ භික්ෂුවට නෑ නො වූ ගැහැවියකු විසින් හෝ ගැහැවිනියක විසින් හෝ මුදලක් රැස්කොට තැබූ කල්හි භික්ෂුව පැවරීමක් නැතිව එහි ගොස් “පින්වත, මේ මුදලින් මට මෙබඳු වූ හෝ මෙබඳු වූ හෝ සිවුරක් ගෙන පුදන්නය” යි හොඳ සිවුරක් ලැබීමේ ආශාවෙන් සංවිධානය කෙළේ නම් නිසගි පචිති වේ.

භික්ෂුවගේ කීම අනුව දායකයා බලාපොරොත්තු වූවාට වඩා දික් වූ හෝ පළල් වූ හෝ සිනිඳු වූ හෝ සිවුරක් මිලයට ගනී නම් කීමෙහිදී දුකුළ ඇවැත් වේ. ලැබීමේ ද නිසගි පචිති වේ. ඒ සිවුර කැපකර ගැනීමට නම් නිස්සජනය කළ යුතුය. නිස්සජනය කිරීමේ වාක්‍යය මෙසේය.

“ඉදං මෙ ආවුසො චීවරං පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකං ගහපතිකං උපසංකමිත්වා චීවරෙ විකප්පං ආපන්නං නිස්සග්ගියං ඉමාහං ආයස්මතො නිස්සජාමි.”[97]

නුඹ වහන්සේට කොපමණ දිග පළල ඇති කෙබඳු සිවුරක් අවශ්‍යදැයි දායකයා විචාළ හොත් කීමෙහි වරද නැත. දායකයා මහඟු සිවුරක් පිදීමට බලාපොරොත්තු වන කල්හි මිල අඩු සිවුරක් පූජා කරන්නට කීම ද වරද නැත. මේ සිකපදය පැනවීමේ හේතුව දායකයාට වැඩිපුර මුදල් වියදම් කරන්නට සිදුවීම වැළැක්වීම ය. දායකයා පිළියෙළ කර ඇති මිලයෙන් ම ඔහු බලාපොරොත්තු වන සිවුර හැර අන් සිවුරක් ගැන්වීම ද වරද නැත. දායකයා රුපියල් විස්සකට අඳනයක් ගන්නට අදහස් කරන කල්හි ඒ මිලට ම තනිපොට සිවුරක් ගන්නට කීමෙන් ද ඇවැත් නො වේ.

චීවරය වඩා වටිනා එකක් කිරීමේ කැමැත්ත ය, නො නෑයකුට කීමය, එයින් ලැබීමය කියා මේ සිකපදයේ අංග තුනෙකි.

ද්විතීය උපක්ඛට ශික්ෂාපදය.

ද්විතීය උපක්ඛට ශික්ෂාපදයෙහි ඇත්තේ ප්‍ර‍ථම උපක්ඛට ශික්ෂාපදයට මඳ වෙනසකි. නො නෑ වූ ගිහියන් දෙදෙනකු එක් භික්ෂුවකට වෙන වෙනම සිවුරු ගෙන පිදීමට මුදල් පිළියෙළ කර ගෙන ඉන්නා තැනට පැවරීමක් නැතිව භික්ෂුව ගොස් වඩා හොඳ සිවුරක් ලැබීමේ ආශාවෙන් දෙදෙනාගේ ම මිලයෙන් එක් සිවුරක් ගන්වා පූජා කරවුව හොත් ද්විතීය උපක්ඛට ශික්ෂාපදයෙන් නිසගි පචිති වේ. එසේ ලද සිවුර නිස්සජනය කළ යුත්තේ මෙසේ ය.

“ඉදම්මෙ ආවුසො චීවරං පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකෙ ගහපතිකෙ උපසංකමිත්වා චීවරෙ විකප්පං ආපන්නං. ඉමාහං ආයස්මතො නිස්සජාමි.”[98]

දුර්වර්ණකරණ ශික්ෂාපදය.

“නවං පන භික්ඛුනා චිවරලාභෙන තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං ආදාතබ්බං. නීලං වා කද්දමං වා කාළසාමං වා අනාදා චෙ භික්ඛු තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං නවං චීවරං පරිභුඤ්ජෙය්‍ය පාචිත්තියං.”[99]

භික්ෂුව විසින් අලුත් සිවුරක් ලද කල්හි එහි කොළපැහැය මඩපැහැය කළුපැහැය යන වර්ණයන් අතුරින් යම්කිසි වර්ණයකින් කප්පබින්දු තැබිය යුතුය. එසේ නො කොට අලුත් සිවුරක් පරිභෝග කෙළේ නම් පචිති ඇවැත් වේ.

මේ සිකපදයෙහි “දුබ්බණ්ණකරණ” යන වචනයෙන් දැක්වෙන්නේ කප්ප බින්දුවය. එයින් චීවරය මඳක් වුව ද දුර්වර්ණ වන බැවින් එසේ කිරීම දුබ්බන්ණකරණ නම් වේ. කප් බින්දුව බින්දු සටහනකින් ම මිස අන් සටහනකින් නො තැබිය යුතුය. එහි ප්‍ර‍මාණය මකුණුපිටක් මොනර ඇසක් පමණ විය යුතු ය. සිවුරේ සතර කොනේ ම හෝ කොන් තුනක හෝ දෙකක හෝ එකක හෝ කප්බින්දුව තැබිය යුතු බව කියා තිබේ. සිවුර මසා පඬු පොවා කප්බින්දු තැබිය යුතු ය. පරණ සිවුරක් ලැබී පරිභෝග කිරීමේ දී කප්බින්දුව නො තැබුව ද වරද නැත.

සංඝාටිය නැතිව ගම් වැදීම.

“න භික්ඛවෙ සන්තරුත්තරෙන ගාමො පවිසිතබ්බො, යො පවිසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[100]

“මහණෙනි, අඳනයෙන් හා උත්තරාසංගයෙන් පමණක් ගමට නො පිවිසිය යුතුය. යම් මහණෙක් පිවිසෙන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.” මේ සිකපදයෙන් දැක්වෙන්නේ සංඝාටිය නො පොරවා අඳනය තනිපට සිවුර යන දෙකින් පමණක් ගමට පිවිසියේ නම් දුකුළා ඇවැත් වන බවය. දෙපොට සිවුර හා තනිපොට සිවුර එකට ම පොරොවා හැසිරීම උෂ්ණ පළාත්වල දුෂ්කරය. ගිලන් භික්ෂූන්ටත් දුබල භික්ෂූන්ටත් දුෂ්කරය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ කරුණු පසක් ඇති කල්හි සංඝාටිය නො ගෙන ගමට පිවිසීමත් අනුදැන වදාළ සේක. ගිලනකු වීම, වැසි ලකුණු තිබීම, ගඟකින් එතරව යන්නට තිබීම, දොර අගුලු ඇති විහාරයක් වීම, කඨිනය අතුළ කෙනකු වීම ඒ කරුණු පසය. ඒවායින් ප්‍ර‍ධාන කරුණ දොර අගුලු ඇති විහාරයක් තිබීමය. මේ සිකපදය පනවා ඇත්තේ තැන තැන දමා තිබුණ හොත් සිවුරු නැති විය හැකි බැවිනි. කිනම් කරුණකින් වුවද සඟළ සිවුර තබා යන භික්ෂුව එය පරෙස්සම් වන ලෙසකට තබා යා යුතුය.

පටිය

“අනුජානාමි භික්ඛවෙ ද්වෙ කායබන්ධනානි පට්ටකං සූකරන්තකං” යනුවෙන් පට්ටිකාය සූකරන්තකය යි කායබන්ධන (පටි) දෙකක් භික්ෂූන්ට අනුදැන වදාරා ඇත්තේ ය. “පට්ටිකා” යනු සාමාන්‍ය වියමනෙන් හෝ මාලුකටු පෙළක් සේ හෝ වියන ලද පටිය ය. “සූකරන්තක” යනු ඇතුළ කුහරය සිටින සේ වියන ලද හෝ රෙදිවලින් මසන ලද හෝ පටිය ය.

“න භික්ඛවෙ උච්චාවචානි කායබන්ධනානි ධාරෙතබ්බානි, කලාබුකං දෙඩ්ඩුභකං මුරජං මද්දවීණං. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[101]

“මහණෙනි, කලාබුකය දෙඩ්ඩුභකය මුරජය මද්දවීණය යන උසස් පහත් පටි නො දැරිය යුතු ය. යමෙක් දරා නම් ඒ මහණහට දුකුළා ඇවැත් වේ.”

එහි “කලාබුක” යනු බොහෝ රැහැන් ඇති පටිය ය. “දෙඩ්ඩුභක” යනු පටියේ හිස දියබරි හිසක් සේ ගොතන ලද පටිය ය. “මුරජ” යනු බොහෝ ලණු පොටවල් එකතු කොට එකකින් වෙළා මිහිඟුබෙර සටහනින් කළ කායබන්ධනය ය. “මද්දවීණ” යනු හවඩියක් සේ ගොතන ලද පටිය ය. නොයෙක් පාට ඇති නූල් එකතු කොට නානා වරණයෙන් වියූ පටි ද, තැනින් තැන නූල් අඩු වැඩි කිරීමෙන් විසිතුරු කළ පටි ද, නොයෙක් රූ සටහන් ඇති පටි ද අකප්පිය පටිවලට අයත් බැවින් නො දැරිය යුතු ය. දැනට ගිහියන් පාවිච්චි කරන නොයෙක් ආකාර ගාංචු ඇති පටි ගැන විනයෙහි සඳහන් නොවතු දු ඒවා ද අකප්පිය කොට්ඨාසයට අයත් වන ඒවා ලෙස සැලකිය හැකි ය.

කුඩය

“න භික්ඛවෙ ඡත්තං ධාරෙතබ්බං, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස ඡත්තං, අනුජානාමි භික්ඛවෙ අගිලානෙන’පි ආරාමෙ ආරාමූපචාරෙ ඡත්තං ධාරෙතුං”[102]

තේරුම:

“මහණෙනි, කුඩ නො දැරිය යුතු ය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, ගිලනාහට කුඩය අනුදනිමි. මහණෙනි, ආරාමයෙහි හා ආරාමූපචාරයෙහි කුඩ දැරීම අනුදනිමි.

“යස්ස කායදාහො වා පිත්තකොපො වා හොති, චක්ඛු වා දුබ්බලං, අඤ්ඤො වා කොචි ආබාධො විනා ඡත්තෙන, උප්පජ්ජති, තස්ස ගාමෙ වා අරඤ්ඤෙ වා ඡත්තං වට්ටති. වස්සෙ පන චීවරගුත්තත්ථං, වාළමිගචොරභයෙසු ච අත්තගුත්තත්ථං’ පි වට්ටති. එකපණ්ණඡත්තං පන සබ්බත්ථ වට්ටති.”[103]

තේරුම:

යමෙකුගේ කයෙහි දැවිල්ලක් හෝ පිත්කෝපයක් ඇත්තේ ද ඇස හෝ දුබල වේ ද, අන් කිසි ආබාධයක් හෝ කුඩය නො ඉසුලූ කල්හි වේ ද ඔහුට ගමෙහිත් අරණ්‍යයෙහිත් කුඩය දැරීම සුදුසු ය. වර්ෂාවෙහි සිවුරු ආරක්ෂා වීමට ද නපුරු සතුන්ගෙන් සොරුන්ගෙන් භය ඇති කල්හි ආත්මාරක්ෂාව පිණිස ද කුඩය දැරීම සුදුසුය. එක් තල්පතකින් කළ කුඩය සැම තැන ම දැරීම සුදුසු ය.

දැරිය යුතු කුඩ මේවාය, නො දැරිය යුතු කුඩ මේවාය කියා කුඩ ගැන විශේෂ විභාගයක් විනය පාළියෙහි දක්නට නැත. අටුවාවෙහි ද නො දක්නා ලදී. පාලිමුක්තක විනය විනිශ්චයෙහි අලංකාරය පිණිස නොයෙක් පාට නූල්වලින් මැසුම් යෙදූ කුඩ හා මිටෙහි කැටයමි ඇති කුඩ නො වටනා බව දක්වා තිබේ.

පාවහන්

“අනුජානාමි භික්ඛවෙ එකපලාසිකං උපාහනං, න භික්ඛවෙ දිගුණා උපාහනා ධාරෙතබ්බා, න තිගුණා උපාහනා ධාරෙතබ්බා, න ගණංගණූපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[104]

“මහණෙනි, එක් පොටක් ඇති පාවහන් අනුදනිමි. මහණෙනි, දෙපොට ඇති පාවහන් නො දැරිය යුතුය. තුන්පොට ඇති පාවහන් නො දැරිය යුතුය. බොහෝ පොට ඇති පාවහන් නොදැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ සඋපාහනෙන ගාමෙ පවිසිතබ්බො, යො පවිසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[105]

“මහණෙනි, වහන් පයලා ගමට නො පිවිසිය යුතුය. යමෙක් පිවිසියේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

“අනුජානාමි භික්ඛවෙ යස්ස පාදා වා දුක්ඛා පාදා වා එලිතා පාදඛීලො වා ආබාධො උපාහනං ධාරෙතුං.”[106]

මහණෙනි, යමෙකුගේ පා රිදේ ද, පා පැළී හෝ ඇත්තේ ද පතුලෙහි කටු සේ මස් ලියලා හෝ ඇත්තේ ද ඔහුට පාවහන් දැරීම අනුදනිමි.

“අනුජානාමි භික්ඛවෙ ඉදානි මඤ්චං වා පීඨං වා අභිරුහිස්සාමීති උපාහනං ධාරෙතුං.”[107]

යනුවෙන් ඇඳට හෝ පුටුවට නඟින අවස්ථාවේ පාවහන් දැරීම අනුදැන ඇත්තේ ය. මෙයින් දක්වන්නේ පා සෝදා ඇඳට හෝ පුටුවට යන කල්හි නැවත පා නො කිලිටි වීම සඳහා වහන් පයලා යා යුතු බවය.

“අනුජානාමි භික්ඛවෙ අජ්ඣාරාමෙ උපාහනං ධාරෙතුං.”[108]

මහණෙනි, ආරාමයෙහි පාවහන් දැරීම අනුදනිමි.

“අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා සඋපාහනෙන ගාමං පවිසිතුං.”[109]

මහණෙනි, ගිලන් භික්ෂුවට වහන් පයලා ගම් වැදීම අනුදනිමි. තෙත් පොළොව පෑගීමෙන් හෝ රත් වූ පොළොව පෑගීමෙන් හෝ බොරලු පෑගීමෙන් හෝ නඟින රෝගයක් ඇතියහුට වහන් පය ලා ගම් වැදීමෙන් ඇවැත් නැත.

“න භික්ඛවෙ ආචරියෙසු ආචරියමත්තෙසු උපජ්ඣායෙසු උපජ්ඣායමත්තෙසු අනුපාහනෙසු චංකමමානෙසු සඋපාහනෙන චංකමිතබ්බං, යො චංකමෙය්‍ය, ආපත්ති දුක්කටස්ස.”[110]

මහණෙනි, ආචාර්‍ය්‍යයන්, ආචාර්‍ය්‍යයන් පමණ වූවන්, උපාධ්‍යායයන්, උපාධ්‍යායයන් පමණ වූවන් පාවහනින් තොරව සක්මන් කරන කල්හි වහන් පය ලා සක්මන් නො කළ යුතුය. යමෙක් සක්මන් කෙළේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

ප්‍ර‍ව්‍ර‍ජ්‍යාචාර්‍ය්‍යය උපසම්පදාචාර්‍ය්‍යය නිශ්‍ර‍යාචාර්‍ය්‍යය උද්දේසාචාර්‍ය්‍යය යි ආචාර්‍ය්‍යයෝ සතර දෙනෙකි. ආචාර්‍ය්‍යයන් පමණ වූවෝ නම් උපසම්පදාවෙන් සවසකට වැඩිමහලු භික්ෂූහු ය. එක්වසක් ඇති භික්ෂුවට සත්වසක් ඇති භික්ෂුව ද, දෙවසක් ඇති බික්ෂුවට අටවසක් ඇති භික්ෂුව ද, තෙවසක් ඇති භික්ෂුවට නවවසක් ඇති භික්ෂුව ද, සිවුවසක් ඇති භික්ෂුවට දසවස් පිරුණ භික්ෂුව ද ආචාර්‍ය්‍යයන් පමණ වෙති. උපාධ්‍යාචාර්‍ය්‍යයරයාගේ මිත්‍ර‍ ස්ථවිරයෝ ද, තමාට දසවසකින් මහලු ස්ථවිරවරු ද උපාධ්‍යාය පමණවූවෝ ය. මේ සිකපදයෙන් දැක්වෙන්නේ එක් සක්මනෙහි හෝ සමීපයෙහි හෝ සක්මන් කිරීමය. මේ සිකපදය අනුව සක්මන් කිරීම පමණක් නොව ආචාර්‍ය්‍ය, ආචාර්‍ය්‍යමාත්‍ර‍, උපාධ්‍යාය, උපාධ්‍යායමාත්‍ර‍ භික්ෂූන් වහන්සේලා ඉදිරියට වහන් පය ලා යාමත් නුසුදුසු බව කිව යුතුය.

“අනුජානාමි භික්ඛවෙ සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු ගණංගනූපාහනං.”[111]

යනුවෙන් ප්‍ර‍ත්‍යන්ත ජනපදයන්හි බොහෝ පොට ඇති පාවහන් අනුදැන ඇති බැවින් ප්‍ර‍ත්‍යයන්තයට අයත් වන මේ රටෙහි බොහෝ පොට ඇති පාවහන් දැරීමෙන් ඇවැත් නැත. මධ්‍යදේශයට යත හොත්, එක් පොටක් ඇති පාවහන් යුවලක් එහිදී දැරිය යුතුය.

නැගෙනහිරින් කජංගල නම් නියම්ගමින් ද, ගිනිකොනින් සලලවතී නම් ගංගාවෙන් ද, දකුණින් සේතකණ්ණිකා නම් නියම්ගමින් ද, බස්නාහිරින් ථූන නම් බ්‍රාහ්මණ ගමින් ද, උතුරෙන් උසීරද්ධජ නම් පර්වතයෙන් ද පිරිසිඳින ලද ජම්බුද්වීපයේ මැද කොටස මධ්‍යදේශය යි ඉන් ඔබ ප්‍ර‍ත්‍යන්තදේශය යි ද වදාරා ඇත්තේ ය.

“න භික්ඛවෙ සබ්බනීලිකා උපාහනා ධාරෙතබ්බා, න සබ්බපීතිකා උපාහනා ධාරෙතබ්බා, න සබ්බලොහිතිකා උපාහනා ධාරෙතබ්බා, න සබ්බමඤ්ජෙට්ඨිකා උපාහනා ධාරෙතබ්බා, න සබ්බකණ්හා උපාහනා ධාරෙතබ්බා, න සබ්බමහාරංගරත්තා උපාහනා ධාරෙතබ්බා, න සබ්බමහානාමරත්තා උපාහනා ධාරෙතබ්බා, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[112]

මෙයින් සම්පූර්ණ නීලාදි වර්ණවලින් යුක්ත පාවහන් දැරීමෙන් දුකුළා ඇවැත් වන බව දක්වන ලදී. එහි මහාරංග යනු පත්තෑයන්ගේ පිටේ පැහැයය යි ද මහානාම යනු ඉදුණු කොළවල පැහැය ය යි ද අටුවාවෙහි දක්වා ඇත්තේ ය. “න භික්ඛවෙ නීලවට්ටිකා උපාහනා ධාරෙතබ්බා” යනාදිය වදාරා ඇති බැවින් පටි පමණක් පාට කළ පාවහන් වුව ද දැරීමෙන් ඇවැත් වේ. මේ සිකපදවල සැටියට පාවහන කැප එකක් වීමට එහි කිසි පැහැයක් ආලේප නො කළ යුතු ය. පාවහන තැනූ ද්‍ර‍ව්‍යවල ප්‍ර‍කෘති පාට ම තිබෙන්නට හැරිය යුතු ය. පාට කළ පාවහන් ලද හොත් පාට ඉවත් කොට පරිභෝග කළ යුතු ය.

“න භික්ඛවෙ බල්ලබද්ධා උපාහනා ධාරෙතබ්බා. න පුටබද්ධා උපාහනා ධාරෙතබ්බා, න පාළිගුණ්ඨිමා උපාහනා ධාරෙතබ්බා, න තුලපුණ්ණිමා උපාහනා ධාරෙතබ්බා, න තිත්තිරපත්තිකා උපාහනා ධාරෙතබ්බා, න මෙණ්ඩවිසාණවට්ටිකා උපාහනා ධාරෙතබ්බා, න අජවිසාණවට්ටිකා උපාහනා ධාරෙතබ්බා, න විච්ඡකාලිකා උපාහනා ධාරෙතබ්බා, න මොරපිඤ්ජපරික්ඛිත්තා උපාහනා ධාරෙතබ්බා, න චිත්‍රා උපාහනා ධාරෙතබ්බා, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[113]

මහණෙනි, විලුම් වැසෙන පාවහන් නො දැරිය යුතු ය. සියලු පය වැසෙන පාවහන් නො දැරිය යුතු ය. පිටිපතුල වැසෙන පාවහන් නො දැරිය යුතු ය. පුළුන් පුරවා කළ පාවහන් නො දැරිය යුතුය. වටු පියාපත් පැහැ පටි ඇති පාවහන් නො දැරිය යුතුය. බැටළු අං වැනි පටි ඇති පාවහන් නො දැරිය යුතුය. එළු අං වැනි පටි ඇති පාවහන් නො දැරිය යුතුය. ගෝනුස්සන්ගේ නටු වැනි පටි ඇති පාවහන් නො දැරිය යුතුය. මොනර පිල්වලින් මැසුම් දැමූ පාවහන් නො දැරිය යුතුය. විසිතුරු පාවහන් නො දැරිය යුතු ය. යමෙක් දරා නම් දුකුළා ඇවැත් වේ.

මෙහි දැක්වුණු පාවහන් මේ කාලයේ දක්නට නැති බැවින් ඒවායේ නියම තතු තේරුම් ගැනීම දුෂ්කර ය. විලුඹ හෝ පිටිපතුල වැසෙන පාවහන් අකැප ය. නොයෙක් ආකාරයෙන් විසිතුරු කර ඇති පාවහන් අකැප ය. මෙකල රටේ පාවිච්චි කරන පාවහන් අතර නොයෙක් ආකාරයෙන් විසිතුරු කර ඇති පාවහන් දක්නා ලැබේ. ඒවා පැවිද්දන්ට අයෝග්‍යය.

සිංහය, ව්‍යාඝ්‍ර‍ය, දිවිය, අජින නම් මෘගය, ඔටුය, බළල්ය, ලේන්ය, බකමුහුණුය යන මොවුන්ගේ සම් වාටියට යොදා ඇති පාවහන් දැරීමෙන් ද ඇවැත් වන බව “න භික්ඛවෙ සීහචම්මපටික්ඛටා උපාහනා ධාරෙතබ්බා” යනාදීන් වදාරා ඇත්තේය.[114]

“න ච භික්ඛවෙ කාචි සංකමනීයා පාදුකා ධාරෙතබ්බා. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[115]

මහණෙනි, එහාමෙහා ගෙන යා හැකි කිසි පාදුකාවක් නො දැරිය යුතු ය. යමෙක් දරා නම් දුකුළා ඇවැත් වේ.

සම්

“න ච භික්ඛවෙ කිඤ්චිචම්මං ධාරෙතබ්බං. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[116]

මහණෙනි, කිසි ම සමක් නො දැරිය යුතු ය. පරිභෝග නො කළ යුතු ය.

“අනුජානාමි භික්ඛවෙ ගිහිවිකටං අභිනිසීදිතුං නත්වෙව අභිනිප්පජ්ජිතුං.[117]

මහණෙනි, ගිහියන්ගේ සම්වල හිඳ ගැනීමට අනුදනිමි. නිදා ගැනීමට නො අනුදනිමි.

“අනුජානාමි භික්ඛවෙ සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු චම්මානි අත්ථරණානි, එළකචම්මං අජචම්මං මිගචම්මං.”[118]

මහණෙනි, සියලු ප්‍ර‍ත්‍යන්ත ජනපදයන්හි එළුසම් තිරෙළුසම් මුවසම්වලින් කළ ඇතිරි අනුදනිමි. මධ්‍යදේශයේ කිසි සමක් පරිභෝග නො කළ යුතු ය. මිනිස් සම් හැර අන් සියලු සම් පාවහන්වලට හා ථවිකවලට කැපය.

අකප්පිය ආසන

“න භික්ඛවෙ උච්චාසයන මහාසයනානි ධාරෙතබ්බානි. සෙය්‍යථිදං? ආසන්දි පල්ලංකො ගොණකො චිත්තකො පටිකා පටලිකා තූලිකා විිකතතකිකා උද්දලොමි එකන්තලොමි කට්ඨිස්සං කොසෙය්‍යං කුත්තකං අත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතො ලොහිතකූපධානං යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[119]

මේ සිකපදයෙන් ආසන්දි ආදි නම්වලින් දක්වන ලද උච්චාසයන මහාසයනයන් පරිභෝග කිරීමෙන් දුකුළා ඇවැත් වන බව දැක් වේ. උච්චාසයන යනු පමණට වඩා උස් අසුනය. එහි ප්‍ර‍මාණය පාචිත්තියපාළියේ[120] මඤ්ච ශික්ෂාපදය අනුව දැක්විය යුතු ය. සුගත් අඟුලෙන් අටඟුලකට වඩා උස පා ඇති ඇඳක් හෝ පුටුවක් භික්ෂුවක් විසින් කරවුව හොත් වැඩි කොටස සිඳ දෙසිය යුතු පචිති ඇවැත් වේ. සුගත් අඟල් සතරක් සාමාන්‍ය ජනයාගේ වියතකි. අටඟුලක් රියනකි. ඒ සිකපදය අනුව රියනට වඩා උස් පා ඇති අසුන අකැපය. උච්චාසයනය යි කියනුයේ රියනට වඩා දික් පා ඇති අසුන්ය. අතිතකාලයේ බොහෝ උස් අසුන් අගය කොට සලකන්නට ඇත. මෙකල උස් අසුන් අගය කොට නො සලකති. රියනට වඩා උස් පා ඇති ඇඳ පුටු මෙකල නො සාදති. දැනට පන්සල්වලත් ගෙවලත් පාවිච්චි කරන ඇඳ පුටු උච්චාසයන නො වේ.

මහාසයන යනු වඩා සනීපය ගෙන දෙන වඩා ලස්සන කාමභෝගීන් පිනවන මහමිනිසුන් පරිභෝග කරන අසුන් ය. “අකප්පිය ඇතිරි අතුළ අසුන්ය” යි අටුවාවෙහි කියා තිබේ. ඉහත දැක් වූ පාඨයෙහි ආසන්දාදි නම්වලින් දැක්වෙන්නේ අතීත කාලයේ විසූ මහමිනිසුන් පරිභෝග කළ පරණ බඩුය. දැන් ඒවා නැති බැවින් ඒවා හරියට තේරුම් ගැනීමත් දුෂ්කරය.

“ආසන්දි” යනු පමණට වඩා උස් පා ඇති ආසන විශේෂයකි. “පල්ලංක” යනු පාවල සිංහරූප ව්‍යාඝ්‍ර‍රූප යක්ෂරූපාදි රූප යොදා ඇති අසුනය. “ගෝණක” යනු සතරඟුලකට දික් ලොම් ඇති පලස ය. “චිත්තක” යනු වියුමෙන් විසිතුරු කළ ඇතිරිය ය. “පටිකා” යනු ලොමින් කළ සුදු ඇතිරිය ය. “පටලිකා” යනු ඝනට මල් ඇති ලොමින් කළ රතු ඇතිරිය ය. “තූලිකා” යනු පුළුන් දමා කළ ගුරිදිය ය. “විකතිකා” යනු සිංහ ව්‍යාඝ්‍රාදි රූපවලින් විසිතුරු කළ ලොම් ඇතිරිය ය. “උද්දලොමි” යනු එක පැත්තකින් ලොම් මතු වී ඇති ලොම් ඇතිරිය ය. “ඒකන්තලොමි” යනු දෙපැත්තෙහි ම මතු වූ ලොම් ඇති ලොම් ඇතිරිය ය. “කට්ඨිස්ස” යනු අතරට රන්රිදී නූල් යොදා කට්ඨිස්ස නම් කෙඳි වර්ගයකින් වියූ ඇතිරිය ය. “කෝසෙය්‍ය” යනු පටනූල් අතරට රන් රිදී කෙඳි යොදා වියූ ඇතිරිය ය. “කුත්තක” යනු නාටිකාවන් සොළොස් දෙනෙකුට නැටීමට ඉඩ ඇති ලොම් ඇතිරිය ය. “හත්ථත්ථර අස්සත්ථර රථත්ථර” යනු ඇතුන් පිට අසුන් පිට හා රථවල අතුරන ඇතිරිය ය. “අජිනප්පවේණි” යනු අඳුන්දිවිසම්වලින් ඇඳ පමණට මසා කළ ඇතිරිය ය. “කදලිමිගපවරපච්චත්ථරණ” යනු කදලිමිග නම් මුවන්ගේ සමින් කළ උතුම් ඇතිරිය ය. “සඋත්තරච්ඡද උභතෝලෝහිතකූපධාන” යනු හිසට පයට රතු කොට්ටා හා රතුවියන් ඇති අසුන ය.

එක් සමයෙක්හි මනුෂ්‍යයෝ ඇතුළුගමෙහි දන් ශාලාවක භික්ෂූන්ට වාඩිවීම සඳහා ආසන්දාදි උච්චාසයන මහාසයනයන් පැනවූහ. භික්ෂූහු සැක ඇත්තාහු ඒවායේ නො හිඳිත්. එකරුණ භාග්‍යවතුන් වහන්සේට දැන්වූ කල්හි “අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා තීණි ආසන්දිං පල්ලංකං තූලිකං ගිහිවිකතං අභිනිසීදිතුං නත්වෙව අභිනිපජ්ජිතුං.”[121] යි “මහණෙනි, ගිහියන් විසින් පිළියෙළ කර දුන් කල්හි ආසන්දි පල්ලංක තූලිකා යන අසුන් තුන හැර අන් අසුන්වල හිඳීම අනුදනිමි. නිදීම නො අනුදනිමි” යි වදාළ සේක. පසු අවස්ථාවක ගිහියන් විසින් පිළියෙළ කර දුන් කල්හි තූලිකාවෙහි ද හිඳ ගැනීම අනුදැන වදාළහ.

ආසන්දි තූලික පල්ලංක යන තුන හැර ඉතිරි අසුන්වල ධර්මාසනයෙහි ද දානශාලාවෙහි ද ගිහිගෙයෙහි ද හිඳ ගැනීම කැප ය.

කෙස් රැවුල් ආදිය පිළිබඳ සිකපද

“න භික්ඛවෙ දීඝා කෙසා ධාරෙතබ්බා, යො ධාරෙය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ දුමාසිකං වා දුවංගුලං වා.”[122]

මහණෙනි, දික් හිසකේ නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, දෙමසකට වරක් හෝ දෙඅඟලක් වැඩුණු කල්හි හෝ හිසකේ කැපීම අනුදනිමි.

“න භික්ඛවෙ කොච්ඡෙන කෙසා ඔසණ්හෙතබ්බා, න එණකෙන කෙසා ඔසණ්හෙතබ්බා, න හත්ථඵණකෙ කෙසා ඔසණ්හෙතබ්බා, න සිත්ථතෙලකෙන කෙසා ඔසණ්හෙතබ්බා, න උදකතෙලකෙන කෙසා ඔසණ්හෙතබ්බා, යො ඔසණ්හෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[123]

මහණෙනි, කොස්සෙන් හිසකේ නො පීරිය යුතුය. පණාවෙන් හිසකේ නො පීරිය යුතුය. අතින් හිසකේ නො පීරිය යුතුය. ඉටි මිශ්‍ර‍ තෙල් ආදි යම්කිසි ලාටුවකින් හිසකේ නො පීරිය යුතුය. දිය මිශ්‍ර‍ තෙලින් හිසකේ නො පීරිය යුතුය. යමෙක් පීරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

ඇවැත් වන්නේ අලංකාරය පිණිස හිසකේ පීරීමෙනි. හිසකේ කෙළින් සිටින කෙනෙකුට අතෙහි වතුර ගා පිරිමැදීමෙන් ද දූලි ඉවත් කිරීම පිණිස අත තෙමා හිස පිරිමැදීමෙන් ද ඇවැත් නො වේ.

“න භික්ඛවෙ කත්තරියා කෙසා ඡෙදාපෙතබ්බා, යො ඡෙදාපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[124]

මහණෙනි, කතුරෙන් හිසකේ නො කැප්පවිය යුතුය. යමෙක් කැප්පවූයේ නම් දුකුළා ඇවැත් වේ.

“අනුජානාමි භික්ඛවෙ ආබාධප්පච්චයා කත්තරිකාය කෙසෙ ඡෙදාපෙතුං.”1

මහණෙනි, ආබාධයක් නිසා කතුරෙන් හිසකේ කැප්පවීම අනුදනිමි.

“න භික්ඛවෙ මස්සු කප්පාපෙතබ්බං, න මස්සු වඩ්ඪාපෙතබ්බං, න ගොලොමිකං කාරාපෙතබ්බං, න චතුරස්සකං කාරාපෙතබ්බං, න පරිමුඛං කාරාපෙතබ්බං, න අඩ්ඪුරකං කාරාපෙතබ්බං, න දාඨිකා ඨපෙතබ්බා, න සම්බාධෙ ලොමං සංහාරාපෙතබ්බං. යො සංහරාපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

“මහණෙනි, රැවුල අලංකාර ලෙස නො කැප්ප විය යුතුය. දෑඟුලකට වඩා නො වැඩවිය යුතුය. දෙකම්මුල්හි දිගට ඉතිරි නො කළ යුතුය. සිවුකොනක් තබා නො කැප්පවිය යුතුය. ළයේ ලොම් නො කැප්පවිය යුතුය. උදරයෙහි ලොම් රොදක් නො තැබිය යුතුය. උඩුරැවුල නො තැබිය යුතුය. සම්බාධස්ථානයන්හි ලෝමයන් නො කැපිය යුතුය. යමේක කපා නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

න භික්ඛවෙ මස්සු කප්පාපෙතබ්බං යන සිකපදය ඇතැම්හු හිසකේ තිබිය දී රැවුල පමණක් නො කැපිය යුතුය. කියා තේරුම් කරති. හිසකේ තිබිය දීය කියා සිකපදයෙහි නැත. නැති දෙයක් සිකපදයට අමුතුවෙන් එකතු කිරීම නුසුදුසුය. කෙස් රැවුල් කපා ඉවත් කිරීම කියැවෙන කිසි ම තැනෙක පිටකත්‍රයෙහි “කප්ප” යන වචනය යෙදී තිබෙනු නො දක්නා ලැබේ. “පඨමං කෙසමස්සුං ඔහාරාපෙත්වා” යනාදීන් විනයෙහි දක්නා ලැබෙන්නේ කෙස් රැවුල් කැපීම කියැවෙන තැන්වල “ඔහාරාපෙත්වා” යන වචනය ය. සූත්‍ර‍වල දක්නට ලැබෙන්නේ ද ඔහාරාපෙත්වා යන වචනය ම ය. සම්බනාධස්ථානයන්හි ලොම් ඉවත් කිරීම කියැවෙන සිකපදයෙහි ඒවා කැපීම දක්වා ඇත්තේ “සංහාරාපෙතබ්බං” යන වචනයෙනි. “න භික්ඛවෙ මස්සු කප්පාපෙතබ්බං” යන සිකපදය ගැන වර්ණනාවක් විනය අටුවාවෙහි නො දක්නා ලැබේ. සාරත්ථදීපනී විමතිවිනෝදනී වජිරබුද්ධි යන විනයටීකා තුනෙහි ද මේ සිකපදය ගැන කිසිවක් සඳහන් නො වේ. එබැවින් මේ සිකපදය ඒ ඒ අය තම තමන්ට රුචි සැටියට තේරුම් කරති. අටුවා ටීකාවලට මෙය ඇතුළු නොවීමේ හේතුවත් විමසිය යුතු කරුණෙකි. විනය පෙළ තේරුම් කළ යුත්තේ අටුවාටීකා අනුවය. අටුවාටීකාවල සඳහන් නො වන වචනය තේරුම් කිරීම දුෂ්කරය. මේ සිකපදයෙහි “කප්පාපෙතබ්බං” යන වචනය යොදා ඇත්තේ, රැවුල කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් අන් සෑම තැන යෙදී ඇති ඔහාරෙතබ්බං යන වචනය ම යොදා නැත්තේ, මෙහි අර්ථය අනිකක් නිසාය යනු අපගේ පිළිගැනීම ය සූත්‍ර‍ පිටකයේ සමහර තැනක “කප්පිතකෙසමස්සු” යන වචනය දක්නා ලැබේ. ඒ වචනයෙහි අර්ථය උදාන අටුවාවෙහි විවරණය කර ඇත්තේ “කප්පිතකෙසමස්සූති අලංකාරසත්ථෙ වුත්තවිධිනා කප්පකෙහි ඡින්නකෙසමස්සු”[125] කියා ය. ඒ අටුවාපාඨයෙන් දක්වන්නේ “කප්පත” යන වචනයේ අර්ථය අලංකාර ශාස්ත්‍රයෙහි දැක්වෙන පරිදි මුහුණ අලංකාර කරනු පිණිස කපුවන් ලවා හැඩ තබා කෙස් රැවුල් කැප්පවීම ය. අප විසින් “න භික්ඛවෙ මස්සු කප්පාපෙතබ්බං” යන සිකපදය රැවුල අලංකාර ලෙස නො කැප්පවිය යුතුය” කියා තේරුම් කරන ලද්දේ උදාන අටුවාව අනුව ය. “න භික්ඛවෙ මස්සු කප්පාපෙතබ්බං” යන්නෙහි අර්ථය රැවුල නො කැපිය යුතු ය කියා ගත හොත් කවදාවත් රැවුල කැපීමට ඉඩක් නැත.

“කප්පාපෙය්‍ය විසුං මස්සුං

දාඨිකං වා ඛපෙය්‍ය යො,

සංහරාපෙය්‍ය වා ලොමං

සම්බාධෙ තස්ස දුක්කටං”[126]

මේ විනය විනිශ්චය නම් ග්‍ර‍න්ථයෙහි එන ගාථාවකි. ඇතැම්හු මේ ගාථාව දක්වා හිසකේ තිබිය දී රැවුල නො කැපිය යුතුය යි කියති. එහෙත් කෙස් තිබියදීය කියා ඒ ගාථාවෙහි ද නැත. මස්සු යනු යටි රැවුලය. දාඨිකා යනු උඩු රැවුල ය. මේ ගාථාවෙහි කප්පාපෙය්‍ය විසුං මස්සුං යන්නෙහි අදහස දාඨිකාව තබා වෙනම රැවුල නො කැපිය යුතු බව විය හැකි ය. මේ ගාථාව බුද්ධ වචනය නො වන බව ද සැලකිය යුතු ය. කෙස් හා රැවුල එකවිට නො කැපිය යුතු ය. කැපිය හැක්කේ වෙන වෙනම ය. මේ කාරණයත් මේ ගාථාව තේරුම් කිරීමේ දී සැලකිය යුතු ය.

“අනුජානාමි භික්ඛවෙ අබාධප්පච්චයා සම්බාධෙ ලොමං සංහාරපෙතුං.”[127]

ආබාධයක් ඇති කල්හි සම්බාධයෙහි ලොම් ඉවත් කිරීමට අනුදනිමි.

“න භික්ඛවෙ මුඛං ආලම්පිතබ්බං, න මුඛං උම්මද්දිතබ්බං, න මුඛං වුණ්ණෙතබ්බං, න මනොසිලිකාය මුඛං ලඤ්ඡෙතබ්බං, න අංගරාගො කාතබ්බො, න මුඛරාගො කාතබ්බො, න අංගරාග මුඛරාගො කාතබ්බො, යො කරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[128]

මහණෙනි, පැහැපත් කරන දෑ මුහුණෙහි නො ගැල්විය යුතු ය. මුහුණෙහි වත්සුණු (පියරු) නො ගැල්විය යුතු ය. මුහුණෙහි තිලක නො තැබිය යුතු ය. කය සායම් නො කළ යුතු ය. මුහුණ සායම් නො කළ යුතු ය. කය මුහුණ සායම් නො කළ යුතු ය. යමෙක් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

“අනුජානාමි භික්ඛවෙ ආබාධප්පච්චයා මුඛං ආලිම්පිතුං”[129]

ආබාධ නිසා මුව බෙහෙත් ගැල්වීම අනුදනිමි.

“න භික්ඛවෙ දීඝා නඛා ධාරෙතබ්බා, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[130]

මහණෙනි, දික් නිය නො දැරිය යුතු ය. යමෙක් දරා නම් දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ දීඝං නාසිකාලොමං ධාරෙතබ්බං, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[131]

දික් නාස්ලොම් නො දැරිය යුතු ය. දැරුව දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ පලිතං ගාහාපෙතබ්බං, යො ගාහාපෙය්‍ය ආපත්ති දුක්කස්ස.”[132]

පැසුණු කෙස්ලොම් නො ගැන්විය යුතු ය. ගැන්වුව දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ ආදාසෙ වා උදකපත්තෙ වා මුඛනිමිත්තං ඔලොකෙතබ්බං, යො ඔලොකෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[133]

ආදාසයක හෝ දිය බඳුනක හෝ මුව නිමිත්ත නො බැලිය යුතුය. බැලුව දුකුළා ඇවැත් වේ.

“අනුජානාමි භික්ඛවෙ ආබාධප්පච්චයා ආදාසෙ වා උදකපත්තෙ වා මුඛනිමිත්තං ඔලොකෙතුං.”[134]

ආබාධයක් නිසා ආදාසයේ හෝ දියබඳුනේ හෝ මුවනිමිත්ත බැලීමට අනුදනිමි.

ආබාධයක් ඇති කල්හි එය සුව වී ද නැතදැ යි දැන ගැනීම පිණිස ද බෙහෙත් ගැල්වීම පිණිස ද මා දැන් දිරා ඇතිදැ යි ආයුසංස්කාරය දැන ගැනීම පිණිස ද කන්නාඩියෙන් මුහුණ බැලීම සුදුසු ය. කන්නාඩියකින් නො බලා රැවුල බෑම දුෂ්කර ය. කන්නාඩියකින් නො බලා රැවුල කැපීමෙන් තුවාල විය හැකිය. තුවාලය ආබාධයකි. රැවුල බෑමේදී තුවාල නො වනු පිණිස කන්නාඩියෙන් බැලීම ද ආබාධයක් නො වනු පිණිස බැලීම ය. එබැවින් එයත් ආබාධයක් නිසා කරන වැඩකි. ඒ නිසා එය නිවැරදි විය යුතු ය. විනය පාළියේ අටුවා ටීකාවල ඒ ගැන කිසිවක් සඳහන් කර නැත. මේ අප අදහස ය. මේ ගැන විමසිය යුතු ය.

නෑම පිළිබඳ සිකපද.

“යො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්‍ය අඤ්ඤත්‍ර‍ සමයා පාචිත්තියං. තත්ථායං සමයො, දියඩ්ඪො මාසො සෙසො ගිම්හානන්ති වස්සානස්ස පඨමො මාසො ඉච්චේතෙ අඩ්ඪතෙය්‍යමාසා උණ්හසමයො පරිළාහසමයො ගිලානසමයො කම්මසමයො අද්ධානගමනසමයො වාතවුට්ඨි සමයො අයං තත්ථ සමයො.”[135]

අසමයෙහි අඩමසකට වරකට වඩා නෑව හොත් මේ සිකපදයෙන් පචිති ඇවැත් වේ. මේ සිකපදය මධ්‍යදේශයට පමණෙකි. “අනුජානාමි භික්ඛවෙ සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු ධුවනහානං”1 යනුවෙන් ප්‍ර‍ත්‍යන්ත ජනපදයෙහි නිතර නෑම අනුදැන වදාරා ඇති බැවින් ප්‍ර‍ත්‍යන්තයට අයත් මේ රටෙහි කොතෙක් නෑව ද ඇවැත් නැත.

“න භික්ඛවෙ නහායමානෙන භික්ඛුනා රුක්ඛෙ කායො උග්ඝංසෙතබ්බො. යො උග්ඝංසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[136]

නෑමේදී ගස්වල කය නො ඇතිල්ලිය යුතුය, ඇතුල්ලුව හොත් දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ නහායමානෙන භික්ඛුනා ථම්හෙ කායො උග්ඝංසෙතබ්බො, යො උග්ඝංසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[137]

මේ සිකපදයෙන් නෑමේදී කය කණුවක ඇතුල්ලුව හොත් දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ නහායමානෙන කුඩ්ඩෙ කායො උග්ඝංසෙතබ්බො, යො උග්ඝංසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[138]

නෑමේදී බිත්තියක කය ඇතිල්ලුව හොත් දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ අට්ඨානෙ නහායිතබ්බං, යො නහායෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

අට්ඨාන නම් කණුවෙහි ඇඟ ගටා නෑමෙන් දුකුළා ඇවැත් වේ. අට්ඨානය මෙකල දක්නට නැත. ලී කොටයක පැත්තක් ලෑල්ලක් සේ මට්ටමට සැස දූපෝරුවක මෙන් එහි දෑතට ඉරි කපා නාන තැන්වල සිටවන ලද කණුවට “අට්ඨානය” යි කියනු ලැබේ. මනුෂ්‍යයෝ එයට සුණු ඉස එහි ඇඟ උලති.

“න භික්ඛවෙ ගන්ධබ්බහත්ථකෙන නහායිතබ්බං, යො නහායෙය්‍ය ආපත්ති දුක්කටස්ස”1

ගන්ධබ්බහත්ථක යනු නෑමේදී ඇඟ ඉලීම සඳහා වඳුරු අතක් මෙන් ලීයෙන් සාදන උපකරණයෙකි. එයින් ඇඟ උලා නෑව හොත් දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ කුරුවින්දකසුත්තියා නහායිතබ්බං, යො නහායෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

කරුවින්දකසුත්තික නම් උපකරණයක් මෙකල නො දක්නා ලැබේ. කරුවින්දක නම් ගල්වර්ගයක් ඇත. ඒවා සුණු කොට ලාකඩ හා මිශ්‍ර කොට ගුළි කර වැලක අවුනා ඒ වැල දෙකොනින් අල්ලා දෙපැත්තට අදිමින් එයින් පිටේ කුණු ඉවත් කරති. එය පාවිච්චි කිරීමෙන් දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ විගය්හ පරිකම්මං කාරාපෙතබ්බං. යො කාරාපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[139]

ඔවුනොවුන් කයින් කය ගටා කුණු ඉලීම නො කළ යුතුය. කළ හොත් දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ මල්ලකෙන නහායිතබ්බං. යො නහායෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

“මල්ලක” යනු ද මෙකල දක්නට නැති උපකරණයෙකි. එය දැති කැපූ පියුම් කෙමියක ආකාර උපකරණයකැයි කියා තිබේ. එයින් ඇඟ උලා නෑමෙන් දුකුළා ඇවැත් වේ. ඇඹරූ රෙදි වැටියෙන් හෝ අතින් හෝ කුණු උලා නෑ යුතුය. ගල්කැට ගඩොල් කැබලි කැබිලිති යන මේවා පා ඉලීමට සුදුසුය.

ආහාරපාන වැළඳීම පිළිබඳ සිකපද.

දන්තපෝන ශික්ෂාපදය.

“යො පන භික්ඛු අදින්නං මුඛද්වාරං ආහාරං ආහරෙය්‍ය අඤ්ඤත්‍ර‍ උදකදන්තපොනා පාචිත්තියං.”[140]

යම් මහණෙක් දිය දැහැටි හැර අනුපසම්පන්නයකු විසින් නො පිළිගන්වන ලද ආහාරයක් උගුරෙන් ඇතුළට ගනී නම් පචිති ඇවැත් වේ.

අදින්නාදාන පාරාජිකා ශික්ෂාපදයෙහි “අදින්න” යන වචනයෙන් කියැවෙන්නේ අනුන් අයත් දෙයය. මේ සිකපදයේ “අදින්න” යන වචනයෙන් කියැවෙන්නේන නො පිළිගන්වන ලද්දය. තමාට අයත් දෙය වුව ද අනුපසම්පන්නයකු විසින් නො පිළිගන්වන ලද ලම් එය අදින්න නම් වේ. තමා විසින් ගෙන වැළඳුව ඇවැත් වේ. මුඛද්වාරය යනු උගුරය. නො පිළිගත් දෙයක් උගුරට ඇතුළු නො කළ හොත් මුඛයට ගත් පමණින් ඇවැත් නො වේ. මෙහි ආහාරයයි කියනුයේ කනබොන සියල්ල ම ය. යාවකාලික යාමකාලික සත්තාහකාලික යාවජීවික වශයෙන් දක්වා ඇති සියල්ල ම ගිලින දෙයය යන අර්ථයෙන් ආහාර නම් වේ. අදින්නය විනය පාළියෙහි විස්තර කර ඇත්තේ මෙසේය:-

‘අදින්නං නාම අපටිග්ගහිතකං වුච්චති, දින්නං නාම කායෙන වා කායපටිබද්ධෙන වා නිස්සග්ගියෙන වා දෙන්තො හත්ථපාසෙ ඨිතො කායෙන වා කායපටිබද්ධෙන වා පතිගණ්හාති එතං දින්නං නාම.’[141]

“අදින්නය” යනු නො පිළිගන්නා ලද්දය. “දින්නය” නම් කයින් හෝ කය හා බැඳී ඇති සැඳි ආදි යම්කිසිවකින් හෝ භික්ෂුවගේ අතට හෝ භාජනයට වැටෙන පරිදි අතින් මුදා හෙළීමෙන් හෝ දෙන කල්හි අත්පස සිටි භික්ෂුව කයින් ම හෝ කය හා බැඳී ඇති පාත්‍රාදි දෙයකින් හෝ පිළිගනී නම් එසේ පිළිගන්නා ලද්දය. එය “දින්න” නම් වේය යනු එහි තේරුම ය. දැහැටි හා පිරිසිදු ජලය තමා විසින් ම ගෙන වැළඳිය හැකිය. වතුරට යම්කිසිවක් මිශ්‍ර‍ වී ඇති නම් පිළිගෙන මිස නො පිළිගෙන නො වැළඳිය යුතුය.

ආහාරපානයන් ඉදිරියෙහි තබා දායකයා විසින් “ඉමං භික්ඛං භික්ඛුසංඝස්ස දෙම” යි කීම ද දීමකි. යම් කිසිවක් මෙය ඔබ වහන්සේට දෙමිය කියා හෝ පූජා කරමිය කියා හෝ ඉදිරියෙහි තැබීමත් දීමකි. එසේ දීමෙන් වස්තුව භික්ෂුවට අයත් වේ. එහෙත් එපමණනින් එය භික්ෂුවට නො වැළඳිය හැකිය. වැළඳීමට සුදුසු වීමට ඒ දායකයා ලවා හෝ අන් අනුපසම්පන්නයකු ලවා පිළිගන්වා ගත යුතුය. දායකයා විසින් “භික්ඛු සංඝස්ස දෙම” යි වචනයෙන් දෙන ලද්ද උපසම්පන්නයකු විසින් ගෙන අන් උපසම්පන්නයකුට පිළිගැන්වීම ද නුසුදුසු ය. උපසම්පන්නයකු විසින් නො පිළිගෙන ඔසවන ලද ආහාරය “උග්ගහිතක” නම් වේ. එය සියලු ම උපසම්පන්නයන්ට අකැපය. නො පිළිගෙන උපසම්පන්නයකු විසින් ඔසවන ලද්ද අනුපසම්පන්නයන්ට දිය යුතුය. එය ලැබූ අනුපසම්පන්නයා නුවණැතියකු වී පසුව භික්ෂූන්ට පිළිගැන්වුව හොත් වැළඳීම කැපය.

උග්ගහණය, පටිග්ගහණය කියා ගැනීම් දෙකක් ඇත. ඒ දෙකේ වෙනස පැවිද්දන් විසින් හොඳින් දැන ක්‍රියා කළ යුතුය. යම් කිසිවක් තුබූ තැනින් ඔසවා ගැනීම උග්ගහණ නම් වේ. තමාගේ අතෙහි හෝ අතේ ඇති භාජනයෙහි හෝ අනිකකු විසින් තබන දෙය හෝ අතට භාජනයට හෙළන දෙය හෝ ගැනීම “පටිග්ගහණ” නම් වේ. උග්ගහිතය වැළඳීමෙන් පචිති ඇවැත් වේ. ගිහියන් විසින් තැටිවල තබා භික්ෂුව ඉදිරියට අල්ලන තැටියෙන් හෝ භාජනයෙන් හෝ භික්ෂුව යම්කිසිවක් තමාගේ අතින් ගැනීම ද “උග්ගහණ”නම් වේ. එය වැළඳීමෙන් පචිති වේ. කවර ආකාරයකින් හෝ පිළිගත ද පිළිගැනීම හරියන්නේ නො වේ. පිළිගැනීම හරියන්නේ පඤ්චාංගයකින් යුක්ත වීමෙනි. ඒ පඤ්චාංගය මෙසේ ය.

  1. මධ්‍යම ප්‍ර‍මාණයෙන් කායබලය ඇතියකුට එසවිය හැකි දෙයක් වීම.
  2. පිළිගන්වන පිළිගන්න දෙදෙනා ඔවුනොවුන් අත්පස සිටීම.
  3. පිළිගන්වන දෙය භික්ෂුව වෙත එළවීම,
  4. කයින් හෝ කය හා සම්බන්ධ දෙයකින් හෝ මුදාලීමෙන් හෝ දීම.
  5. භික්ෂුව විසින් කයින් හෝ කය හා සම්බන්ධ වී ඇති පාත්‍රාදි යම්කිසිවකින් ගැනීම.

මේ පිළිගැනීම සම්පූර්ණ වීමට තිබිය යුතු පඤ්චාංගයය. මධ්‍යමබල ඇති පුරුෂයකුට එසවිය නො හෙන දෙයක් කීප දෙනකුන් විසින් හෝ මහබලැතියකු විසින් හෝ ඔසවා පිළිගැන්වුවද එය සිද්ධියට නො පැමිණේ. මධ්‍යම බලැතියකුට එසවිය හැකි තරමේ දෙයක් දුබලයන් දෙතුන් දෙනකු විසින් ඔසවා පිළිගැන්වුව ද පැත්තක් ඔසවා ඒ පැත්ත භික්ෂුවගේ අතේ තැබුව ද භික්ෂුව අත බිම තබා සිටියදී අතට පෙරළුව ද පිළිගැනීම සිද්ධ වේ.

“අත්පස” යනු දෙරියන්හමාරය. එය ගණන් ගනු ලබන්නේ භික්ෂුවගේ පිටිපස සිටය. භික්ෂුව වාඩිවී සිටිනවා නම් ඔහුගේ ශරීරයේ පිටිපස කෙළවරේ පටන් පිළිගන්වන තැනැත්තාගේ පිළිගැන්වීමට දිගු කරන අත හැර ඉතා ම සමීප අංගයට දෙරියන් හමාරක් තිබේ නම් අත්පස ලැබේ. එයට වඩා දුරින් සිට අමාරුවෙන් අත දිගු කොට හෝ පිළිගැන්වුව ද එසේ කළ දෙය නො පිළිගත් දෙයක් ම වේ. දිග මිට ඇති සැන්දකින් දුර සිට බෙදුව ද පිළිගැනීම සිදු නො වේ. වළඳන කල්හි දුර සිට බෙදන්නට තැත් කරනවා නම් වැළැක්විය යුතුය. වළකද්දීම බෙදුයේ නම් එය නැවත පිළිගෙන වැළඳිය යුතුය.

පිළිගන්වන දෙය භික්ෂුවගේ අතට හෝ භාජනයට නො එළවා ආහාරය ගෙනැවිත් ගන්නය කියා භික්ෂුව ඉදිරියේ තබා ගෙන සිටිය ද නො ගත යුතු ය. ගත ද පිළිගැනීම සිදු නො වේ. තැටියක ලා පලතුරු ආදි යමක් ගෙනවුත් ගන්නය කියා ඒ තැටිය භික්ෂුව වෙත එළවා නම් යටින් අත තබා සම්පූර්ණ තැටිය පිළිගෙන අනික් අතින් එහි ඇති තමාට වුවමනා දෙයක් ගැනීම සුදුසුය. පිළිගැනීම සිද්ධය.

පිළිගන්වන්නා භික්ෂුවගේ අත්පස සිට අතින් ම භික්ෂුවගේ අතෙහි හෝ භාජනයෙහි හෝ ආහාරය තැබීමෙන් ද, සැඳි ආදි උපකරණයකින් එසේ දුන ද, අතින් හෝ සැන්දෙන් මුදා භික්ෂුවගේ අතට හෝ භාජනයට හෙළුව ද පිළිගැනීම සිදු වේ. මේ තුන් ආකාරයෙන් එක් ආකාරයකින් නුදුන් දෙය තමා අයත් දෙය වුව ද නො පිළිගත් දෙය බැවින් නො වැළඳිය යුතු ය.

අනුපසම්පන්නයා පිළිගන්වන දෙය භික්ෂුව විසින් ද කයින් හෝ කය හා සම්බන්ධ වූ දෙයකින් ගත යුතුය. භික්ෂුවගේ අපේක්ෂාව ඇති නම් පිළිගන්වන්නා ඒ වස්තුව භික්ෂුවගේ අතේ තැබුව ද ශරීරයේ අන් තැනක තැබුව ද පිළිගැනීම සිද්ධය. භික්ෂුවගේ අතේ ඇති භාජනයෙහි තැබුව ද භික්ෂුවගේ ශරීරය හා සම්බන්ධ වී ඇති අන් කිසිවක තැබුව ද පිළිගැනීම සිද්ධ වේ. භික්ෂුව සමීපයේ භාජනය තබා එය යටත් පිරිසෙයින් ඉදිකටු තුඩකින් වුව ද ස්පර්ශ කර ගෙන ඉන්නා කල්හි එයට හෙළන ලද දෙය පිළිගත්තේ වෙයි. භාජන බොහෝ ගණනක් එකිනෙක ගැටෙන සේ තබා එකක් ස්පර්ශ කර සිටියදී ඒ භාජනවලින් කවරකට හෝ බෙදන ලද දෙය පිළිගන්නා ලද්දේ වේ. භික්ෂුව ඇඳක් මේසයක් පුටුවක් අල්ලාගෙන සිටිය දී එහි තබන ලද දෙයත් පිළිගන්නා ලද්දේ වේ. තැනකින් තැනකට ගෙන යා නොහෙන පරිදි පිහිටුවා ඇති දෙයක හෝ නො ගෙන යා හැකි ගලක හෝ තැබීමෙන් පිළිගැනීම සිදු නො වේ. ගසින් වෙන් නො කළ එහි ඇති කොළයකට පිළිගැනීම ද නුසුදුසු ය. සියඹලා ආදි කුඩා කොළ ගොඩක පිළිගැනීම ද නුසුදුසු ය. එක් උපසම්පන්නයකු විසින් පිළිගත් දෙය සියලු ම උපසම්පන්නයන්ට කැපය. එසේ ම එක් උපසම්පන්නයකු විසින් අකැප ලෙස කබා ගත් දෙය සියලු ම උපසම්පන්නයන්ට අකැපය.

නො පිළිගෙන වැළඳිය හැකි දෙය.

බුදුන් වහන්සේ විසින් සර්පයන්ට දෂ්ට කළ භික්ෂූන්ට අනුදත් “මහාවිකට” නම් බෙහෙතක් ඇත. එනම් අසූචි, මුත්‍ර‍, අළු, මැටි යන මේවා ය. ඒ සියල්ල මිශ්‍රකොට සර්පයන් දෂ්ට කළ තැනැත්තාට පෙවිය යුතුය. සර්පයා දෂ්ට කළ අවස්ථාවෙහි පිළිගන්වා ගැනීමට කෙනෙකු නැති නම් එය තමා විසින් ම ගෙන වැළඳීමට අනුදැන ඇත්තේ ය.

“අනුජානාමි භික්ඛවෙ චත්තාරි මහාවිකටානි දාතුං, ගූථං මුත්තං ඡාරිකං මත්තිකන්ති. අනුජානාමි භික්ඛවෙ සති කප්පියකාරකෙ පටිග්ගහාපෙතුං, අසති කප්පියකාරකෙ සාමං ගහෙත්වා පරිභුඤ්ජිතුං.”[142]

අන්තොවුත්ථාදි අකප්පිය වස්තු.

“න භික්ඛවෙ අන්තොවුත්ථං අන්තොපක්කං සාමං පක්කං උග්ගහිතපටිග්ගහිතකං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[143]

මහණෙනි, අන්තෝවුත්ථය ද අන්තෝපාකය ද සාමංපාකය ද උග්ගහිතපටිග්ගහිතය ද නො වැළඳිය යුතුය. යමෙක් වැළඳුව හොත් ඔහුට දුකුළා ඇවැත් වේ.

“අන්තෝවුත්ථ” යනු සංඝයාට හෝ භික්ෂුවකට හෝ අයත් සහසෙය්‍යාපත්තිය සිදුවීමට ප්‍ර‍මාණවත් වූ වාසය කිරීම සඳහා කළ කුටියක එක් රැයක් තබන ලද සංඝයාට හෝ භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ අයත් දෙය ය. “අන්තෝපක්ක” යනු එවැනි කුටියක පිසින ලද දෙයය. “සයංපාක” යනු භික්ෂුවක් තමා විසින්ම පිසන ලද දෙයය. “උග්ගහිතපටිග්ගහිත” යනු භික්ෂුවක් විසින් පිළිගැනීමක් නැතිව සියතින් ගෙන පසුව අනුපසම්පන්නයකු ලවා පිළිගන්වා ගත් දෙය ය.

සංඝයාට හෝ භික්ෂුවකට භික්ෂුණියකට පෞද්ගලික වශයෙන් හෝ අයත් සහසෙය්‍යාපත්තිය සිදුවීමට ප්‍ර‍මාණවත් ලෙස වාසය කරනු පිණිස තනා ඇති කුටිය අකප්පිය භූමි නම් වේ. ගිහියන්ට අයත් ගෙවල් අකප්පිය භූමි නො වේ. සංඝයාට අයත් වූ ද භික්ෂූන්ට පෞද්ගලික වශයෙන් අයත් වූ ද කුටි කප්පිය භූමි කර ගත හැකිය. එහි ක්‍ර‍මය විනයකර්ම පොතේ[144] දක්වා ඇත. සාංඝික වූ හෝ භික්ෂුවකට පෞද්ගලක වූ හෝ යාවකාලික යාමකාලික වස්තුවක් අකප්පිය කුටියෙහි එක් රැයක් වුව ද තිබී පිළිගෙන වැළඳුව හොත් දුකුළා ඇවැත් වේ. තමා ම ගෙන වැළඳුව හොත් දුකුළා ඇවතක් හා පචිති ඇවතක් වේ. අකප්පිය කුටියේ තුබූ සත්තාහකාලික යාවජීවක වස්තූන් වැළඳීමෙන් ඇවැත් නො වේ. අනුපසම්පන්නයකුට අයත් දෙයක් අකප්පිය කුටියේ තබා පසුදින භික්ෂූන්ට පිළිගැන්වුව හොත් වැළඳීමෙන් ඇවැත් නැත. අකප්පිය කුටියේ පිසූ අනුපසම්පන්නයන් අයත් දෙය ලැබී වැළඳුව ද ඇවැත් නො වේ. උපසම්පන්නයන්ට අයත් සහල් ආදියක් අකප්පිය කුටියේ පිස වැළඳුව හොත් ඇවැත් වේ. භික්ෂුවක් කොතැනක හෝ තමා විසින් පිස වැළඳුව හොත් දුකුළා ඇවැත් වේ. විහාරස්ථානයක කප්පිය කුටියක් නැතිවුව හොත් නිතර ඇවැත් සිදු විය හැකිය. ඒ නිසා ගෙයක් කප්පිය කුටියක් වශයෙන් විනයානුකූලව සම්මත කර ගත යුතු ය. කප්පිය කුටියක් සම්මත කර ගන්නා ආකාරය විනයකර්මපොතෙන්[145] දත හැකි ය.

කාලික විභාගය.

විනය සිකපද තේරුම් ගත හැකිවීම පිණිස භික්ෂූන් විසින් පිළිගෙන වැළඳිය යුතු ආහාරපානාදියේ කාලවිභාගය දැන සිටිය යුතු ය. “යාවකාලිකය, යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවිකය” යි වළඳන්නා වූ වස්තූන් සිවු කොටසකට බෙදා ඇත්තේ ය.

පිළිගෙන එදින (මජ්ඣන්තිකකාලය තෙක්) පෙරවරු කාලයෙහි පමණක් වැළඳීමට සුදුසු වස්තූහු යාවකාලික නම් වෙති. ධාන්‍යවර්ග හා ඒවායින් පිසූ කැඳබත් ද, මස්මාලු එළවලු ව්‍යඤ්ජන ද, නොයෙක් පිටිවර්ගවලින් පිළියෙළ කරන කැවිලි වර්ග ද ආහාරය පිණිස ගන්නා පොල් කොස් දෙල් ගස්ලබු කෙසෙල් බෙලි දිවුල් දොඩම් නාරන් ආදි ඵලවර්ග ද, ආහාරය පිණිස ගන්නා අල කොළ කඳන් කරටි මල් ආදිය හා ඒවායින් තනන නොයෙක් ආකාර කෑම ද, බිත්තර කිරි දී යන මේ සියල්ල යාවකාලික වස්තුය. කොටින් කියත හොත් සත්තාහකාලික වශයෙන් විශේෂයෙන් නියම කර ඇති වස්තූන් හැර ආහාර පිණිස ගන්නා සියල්ල ම යාවකාලික වස්තු ය. යාවකාලිකයේ ලක්ෂණය ආහාර පිණිස ගන්නා බව ය.

පිළිගෙන එදින රාත්‍රියේ පශ්චිමයාමය තෙක් තබාගෙන වැළඳීමට සුදුසු පානවර්ගයෝ යාමකාලික නම් වෙති.

“අනුජානාමි භික්ඛවෙ අට්ඨපානානි, අම්බපානං ජම්බුපානං වොචපානං මොචපානං මධුපානං මුද්දිකපානං සාලුකපානං ඵාරුසකපානං.”[146]

යනුවෙන් අනුදන්නා ලද අෂ්ටපානය ද, ඒවාට අනුලෝම වන දෙහි දොඩම් සියඹලා බෙලි දෙළුම් ආදි කුඩා ඵලවලින් ඇල්දියෙන් සාදන ලද පානය ද යාමකාලික ය. අව්වෙන් පැසවා ගන්නා ලද්දේ ද යාමකාලික වේ. ගින්නේ පැසවා ගන්නා ලද්දේ නම් යාවකාලිකයට අයත් වේ. විකාලයේ වැළඳීමට සුදුසු නො වේ.

“අනුජානාමි භික්ඛවෙ සබ්බං ඵලරසං ඨපෙත්වා ධඤ්ඤඵලරසං.”[147]

යනුවෙන් වදාරා ඇති පරිදි ධාන්‍යඵලයන්ගේ හා ඒවාට අනුලොම් වන මහාඵලයන්ගේ ද රසය හැර සිසිල් දියෙන් හෝ හිරු රැසින් රත් කිරීමෙන් හෝ පිළියෙළ කළ සියලු ඵලරසය ද යාමකාලික ය.

“අනුජානාමි භික්ඛවෙ සබ්බං පත්තරසං ඨපෙත්වා ඩාකරසං.”[148]

යි වදාළ පරිදි තැම්බූ කොළවල රසය හැර සිසිල් දියෙන් සාදන ලද හෝ හිරුරැසින් රත් කරන ලද හෝ පානය ද යාමකාලික ය.

“අනුජානාමි භික්ඛවෙ සබ්බං පුප්ඵරසං ඨපෙත්වා මධුකපුප්ඵරසං.”1

යනුවෙන් අනුදැන වදාරා ඇති මීමල්රසය හැර සිසිල් දියෙන් පිළියෙළ කරන ලද්දා වූ මල්රස පානයත් හිරුරැසින් රත් කර තැනූ පානයත් යාමකාලික ය. මීමල්රසය මද්‍ය වර්ගයක් වන බැවින් ප්‍ර‍තික්ෂේප කර තිබේ.

යාවජීවික පත්‍ර‍යන්ගේ රසය පිරිසිදු ජලයෙන් පැසවා ගත් පානය යාවජීවිකය. එයට සත්කාහකාලික වූ සකුරු මිශ්‍ර‍ කළ හොත් සත් දිනක් කැපය. “අනුජානාමි භික්ඛවෙ උච්ඡුරසං”1 යි ද වදාරා ඇති බැවින් පිරිසිදු උක්පැණි ද විකාලයෙහි කැප ය. එය සත්තාහකාලිකයට අයත් ය.

ගිතෙල් ය, වෙඬරුය, තලතෙල් පොල්තෙල් ආදි සියලු තෙල්ය, මීපැණිය, උක් සකුරුය යන මේවා සත්තාහකාලික වස්තූහුය. වරක් පිළිගෙන සත් දිනක් ම තබා ගෙන කාලයෙහි වුව ද විකාලයෙහි වුව ද ඒවා පරිභෝග කළ හැකි ය. කාලයෙහි යාවකාලික වස්තූන් හා මිශ්‍රකොට වැළඳීම සුදුසු වන්නේ කාලයෙහි පිළිගත් ගිතෙල් ආදිය පමණෙකි. ඊයේ පිළිගත් ගිතෙල් ආදිය අද පිළිගත් ආහාරවලට මිශ්‍ර‍ කොට නො වැළඳිය යුතුය. සකුරු, සීනි, සූකිරි යන මේවාත් සත්තාහකාලිකයට ම අයත් ය.

යාවකාලික යාමකාලික සත්තාහකාලික වස්තූන්ට අයත් නො වන බෙහෙත් පිණිස ගන්නා සියල්ල යාවජීවික ය. යාවජීවික වස්තූ පිළිගෙන තබා කරුණක් ඇත හොත් කාලයෙහිත් විකාලයෙහිත් ආදි කෙළවර තෙක් පරිභෝග කළ හැකිය.

ඉඟුරු, කහ, සුදුලූනු, වදකහ, අරත්ත; සැවැන්දරා, කලාඳුරු, කටුකරෝසන, අතිවිඩයන්, සුළුපස්මුල්, මහපස්මුල් ආදි සියලු බෙහෙත් මුල් ද, වලඟසාල්, ගම්මිරිස්, කොත්තමල්ලි, අබ, සුළුදුරු, මාදුරු, කළුදුරු, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි ආදි බෙහෙත් පිණිස ගන්නා ඵලජාති ද, කපු, කොහොඹ, දුම්මෑල්ල, නික, බටු, ආඩතෝඩා, දෙහි, යකිනාරන් ආදි පලාකොළ නො වන බෙහෙත් කොළ ජාති ද, කොසඹ පොතු, මාදන් පොතු, තොටිල පොතු ආදි පොතු ද ඉඹුල් මැලියම් ආදි මැලියම් ද, දුම්මල ද, ලුණු ජාති ද, ලොහො ජාති ද, ගින්නෙන් දැවු මත්ස්‍ය මාංසාදියේ අළු අඟුරු ද, ඉටි වර්ග ද, ගල් වර්ග ද, ධාතු වර්ග ද යන මේ සියල්ල යාවජීවික ය. යාවකාලිකය කාලයෙහි ම කැප ය. ඉතිරි තුන විකාලයෙහි ද කැප ය.

විකාලභෝජන ශික්ෂාපදය.

“යො පන භික්ඛු විකාලෙ ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්‍ය වා භුඤ්ජෙය්‍ය වා පාචිත්තියං.”[149]

යම් මහණෙක් විකාලයෙහි ඛාද්‍යයක් හෝ භෝජනීයයක් හෝ කෑයේ හෝ අනුභව කෙළේ හෝ වේ නම් පචිති ඇවැත් වේ.

මේ සිකපදයෙහි “ඛාදනීය භෝජනීය” යන වචන දෙකට ආහාර පිණිස ගන්නා සියල්ල අයත් ය. ඒවා අටුවාවෙහි දිගට විස්තර කර ඇත්තේ ය. අරුණෝදයේ පටන් හිරමුදුනට පැමිණීම දක්වා මේ කාලය පැවිද්දන් ආහාර වළඳන කාලය ය. ඉර මුදුනේ පවත්නා වෙලාවත් කාලයට ම අයත් ය. හිර මුදුන පසු කළ තැන් පටන් අරුණෝදය තෙක් කාලය පැවිද්දන් ආහාර නෙ ාගන්නා කාලය යි. ආහාර ගන්නා කාලයට කාලය යි ද නො ගන්නා කාලයට විකාලය යි ද කියනු ලැබේ. ඔරලෝසු නො තිබුණු අතීත කාලයේ වෙලාව දැන ගැනීම සඳහා කාලස්තම්භ පිහිටවා තිබිණි. භික්ෂූහු ඒවායින් හා වෙනත් ලකුණුවලින් කාලය දැන ගත්හ. මෙකල වෙලාව දැන ගැනීමට ඔරලෝසු ඇති බැවින් පහසු ය. ඔරලෝසු පැය ගණනින් දවල් දොළහ වීම කාලයේ අවසානය සැටියට සාමාන්‍යයෙන් සලකති. එය ස්ථිර නැත. සමහර දිනවල දවල් දොළහ වන්නට කලින් ද කාලය ඉක්මිය හැකි ය. සමහර දිනවල දොළහ පසුවී විනාඩි ගණනක් පසුවන තුරුත් කාලය තිබිය හැකි ය. සූර්යෝදය වන වෙලාවත් අස්ත වන වෙලාවත් මඳින් මඳ දිනෙන් දින වෙනස් වේ. ඒවා ඇතැම් පඤ්චාංග ලිත්වල දක්වා තිබේ. ඒ ඒ දිනයේ සූර්‍ය්‍යයා උදාවන වෙලාවට හා අස්ත වන වෙලාවට හරි මැද මජ්ඣන්තික කාලය ය. උදය හය පසු වී විනාඩි විසිතුනකදී හිරු උදාවී සවස සය පසුවී විනාඩි විසිතුනකදී බැස යන දිනයේදී දොළොහ පසුවී විනාඩි විස්සක් වන තෙක් කාලය ඇත්තේය. විකාලය එන්නේ දොළහ පසුවී විනාඩි විසිතුනකිනි. මාර්තු මාසයේ ඒ දිනය පැමිණේ. අලුයම පහ පසුවී විනාඩි ගණනකදී හිරු උදාවන ඇතැම් දිනවල දවල් දොළහ වන්නට විනාඩි කීපයකට කලින් ද විකාලය එළඹේ. හරියට ම කාල විකාල දෙක සොයා ගැනීම අපහසු නිසා දවල් දානය දොළහට විනාඩි පසළොසකට තරම කලින් අවසන් කර ගැනීම යහපති.[150]*

මෙය ප්‍ර‍ඥප්ති වද්‍ය ශික්ෂාපදයක් බැවින් කාලය ඉක්මයාමෙන් පසු කාලය ඇතය යන හැඟීමෙන් වැළඳුව ද පචිති ඇවැත් වේ. නො දැනීම ඇවැත් නො වීමට කරුණු නො වේ. විකාලයෙහි වළඳන අදහසින් ආහාර පිළිගැනීමෙන් දුකුළා ඇවැත් වේ. වළඳන කල්හි ගිලින ගිලින වාරයෙහි පචිති ඇවැත් වේ.

“යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්ථාය පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස.”[151]

විකාලයෙහි ප්‍ර‍ත්‍යයක් ඇති කල්හි වැළඳීමට අනුදැන වදාරා ඇති යාමකාලික සත්තාහකාලිය යාවජීවික වස්තූන් ආහාර පිණිස පිළිගැනීමෙන් දුකුළා ඇවැත් වේ. වළඳන කල්හි ගිලින වාරයක් පාසා දුකුළා ඇවැත් වේ.

“අනාපත්ති යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං සතිපච්චයෙ පරිභුඤ්ජති.”[152]

යාමකාලික සත්තාහකාලික යාවජීවිකයන් කරුණක් ඇති කල්හි වැළඳීමෙන් ඇවැත් නො වේ. කරුණක් ඇති කල්හි වැළඳීමෙන් ඇවැත් නැතය යන මෙහි අදහස කරුණක් නැතිව වැළඳුව හොත් ඇවැත් සිදුවන බව ය. පිපාසය ක්ලාන්තය හතියි යනාදි කරුණක් ඇති කල්හි යාමකාලික පානයක් වැළඳීම සුදුසු ය. සත්තාහකාලික යාවජීවික වස්තූන් රෝගයක් ඇති කල්හි වැළඳීම සුදුසු ය. කිසි කරුණක් නැතිව රසවිඳීම පිණිස හෝ අනුන්ගේ ඉල්ලීම ඉටු කරනු පිණිස හෝ වැළඳීම නුසුදුසු ය.

සන්නිධිකාර ශික්ෂාපදය.

“යො පන භික්ඛු සන්නිධිකාරකං ඛාදනීයං වා භෝජනීයං වා ඛාදෙය්‍ය වා භුඤ්ජෙය්‍ය වා පාචිත්තියං.”[153]

යම් මහණෙක් පිළිගෙන රැයක් ඉක්මුණා වූ කෑයුත්තක් හෝ අනුභව කළ යුත්තක් හෝ කෑයේ හෝ අනුභව කෙළේ හෝ වේ නම් පචිති ඇවැත් වේ.

භික්ෂුව විසින් ආහාරපාන පිළිගත යුත්තේ ඒ ඒ දිනයට සෑහෙන පමණට ය. අධිකව පිළිගෙන මතු මතු දිනවල ප්‍රයෝජනයට නො තබා ගත යුතු ය. අද පිළිගත් යාවකාලික යාමකාලික වස්තූන් අද ම අවසන් කළ යුතු ය. පිළිගත් ආහාරපානවලින් වැඩි හරියක් ඇති නම් ඒවා එදින ම අනිකෙකුට හෝ දිය යුතු ය. දීමට කෙනෙකු නැති නම් නිරපේක්ෂකව හළ යුතු ය. පිළිගෙන දිනයක් ඉක්මුණු දෙය “සන්නිධිකාරක” නම් වේ. සන්නිධිකාරක ආහාරයක් හෝ ගිලන්පසක් හෝ පසුදින වැළඳුව පචිති ඇවැත් වේ. තමා පිළිගෙන සාමණේරාදීන්ට නිරපේක්ෂකව දුන් දෙයක් පසු දිනක ඔවුන් තමාට පිළිගන්වන ලද්දේ නම් වැළඳීමෙන් ඇවැත් නැත. පසුදින තමා වළඳනා බලාපොරොත්තුවෙන් සාමණේරාදීන්ට දුන් දෙය ලැබී වැළඳුව ද ඇවැත් වේ. භික්ෂූන්ගේ ප්‍රයෝජනය පිණිස කල් තබා ගත හැකි ටින්වල බෝතල්වල අසුරන ලද කෑම වර්ග පිටි වර්ග හෝ සහල් පොල් ආදිය හෝ දායකයෝ දෙත් නම් භික්ෂූන් විසින් ඒවා නො පිළිගෙන අනුසම්පන්නයන්ට පැවරිය යුතු ය. එසේ පවරන ලද වස්තූන් ඔවුන් ඒ ඒ දිනවලදී පිළිගන්වත හොත් පිළිගෙන වැළඳීම සුදුසු ය. දානපොළවලදී පිළිගෙන වළඳා ඉතිරි වන කල් තබා ගත හැකි ආහාර නිරපේක්ෂකව හැර ආ පසු, අනුපසම්පන්නයකු ඒවා පරෙස්සම් කර තබා පසු දිනක පිළිගැන්වුව හොත් වැළඳීමෙන් ඇවැත් නැත. වළඳන පාත්‍ර‍ය හොඳින් සෝදා පිරිසිදු කර තබා ගත යුතු ය. පාත්‍රයේ තැවරී ඉතිරි වී තුබුණ කලින් පිළිගත් ආහාරවලින් ඉතා ස්වල්පයක් වුව ද එදින පිළිගන්නා ආහාරයට මිශ්‍ර‍ වී ගිලුණේ නම් එයින් ද පචිති ඇවැත් වන බව විනය අටුවාවේ දැක්වේ. වැළඳූ පාත්‍ර‍ය දෙතුන්වරක් හොඳින් නො සේදුව හොත් දිය වූ ආහාර හා තෙල් එහි තැවරී සිටී. අව්වේ තැබූ කල්හි පාත්‍රයේ තෙල් උණු වී එනවා පෙනෙනවා නම්, ඇඟිල්ල තද කොට ඇතිල්ලූ කල්හි ඉරි පෙනෙනවා නම් ඒ පාත්‍ර‍ය පිරිසිදු කරගෙන මිස එහි ආහාර නො වැළඳිය යුතු ය. වැළඳුව ඇවැත් වේ.

භෛෂජ්‍ය ශික්ෂාපදය.

“යානි ඛො පන තානි ගිලානානං භික්ඛූනං පටිසායනීයානි භෙසජ්ජානි, ස්‍යෙථිදං? සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං. තානි පටිග්ගහෙත්වා සත්තාහපරමං සන්නිධිකාරකං පරිභුඤ්ජිතබ්බං, තං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තියං.”[154]

ගිලන් භික්ෂූන් විසින් වැළඳිය යුතු බෙහෙත් වූ ගිතෙල් වෙඬරු තෙල් මීපැණි උක්සකුරු යන මේවා පිළිගෙන සතියක් තබා ගෙන වැළඳිය යුතුය. සතිය ඉක්මවන භික්ෂුවට නිසගි පචිති වේ.

ගිතෙල් වෙඬරු තලතෙල් ආදි තෙල්, මීපැණි, උක්සකුරු යන මේවා උසස් ආහාරයෝ ය. ඒවා ලෝකයෙහි බෙහෙත් වශයෙන් ද පරිභෝග කරති. ඒවාට බෙහෙත්ය යි ද කියති. භාග්‍යවතුන් වහන්සේ විසින් ද ඒවා බෙහෙත් වශයෙන් පරිභෝග කිරීමට භික්ෂූන්ට අනුදැන වදාරා ඇත්තේ ය. විනයෙහි ඒ ගිතෙල් ආදි පස්වර්ගයට “පඤ්චභේසජ්ජ” යන නාමය ව්‍යවහාර කරනු ලැබේ.

ඒ බෙහෙත් පරිභෝග කරනු කැමති භික්ෂුව විසින් එක් වරකදී සතියකට සෑහෙන පමණට පිළිගත යුතුය. පිළිගත් දේ සත්වන දිනයේ අවසන් කළ යුතු ය. ඉතිරිව ඇති නම් අනිකකුට හෝ දිය යුතුය. ඇඟ ගැල්වීම් ආදි ප්‍රයෝජනයකට ගනිමියි අධිෂ්ඨාන හෝ කළ යුතුය. නැතහොත් ඉවත ලිය යුතුය. පිළිගෙන තමා අයත්ව ඒවා අටවන දිනයේ අරුණ නැඟෙන තුරු තුබුණ හොත් ඒ භික්ෂුවට නිසගි පචිති වේ. ඒ භික්ෂුව විසින් -

“ඉදං මේ ආවුසො භෙසජ්ජං සත්තාහාතික්කන්තං නිස්සග්ගියං, ඉමාහං ආයස්මතො නිස්සජාමි”[155] යි නිස්සජ්ජනය කොට ඇවත දෙසිය යුතුය. නිසගි වී නිස්සජනය කොට ලද චීවරාදිය ඒ භික්ෂූන්ට නැවත අධිෂ්ඨානාදිය කොට පරිභෝග කළ හැකිය. නිසගි වූ බෙහෙත් නිස්සජනයෙන් පසු ලද ද ඒවා ඒ භික්ෂුව විසින් පරිභෝග කිරීමට නුසුදුසු ය.

“නිස්සට්ඨං පටිලභිත්වා, න කායිකෙන පරිභොගෙන පරිභුඤ්ජිතබ්බං. න අජ්ඣොහරිතබ්බං. දීපෙ වා කාළවණ්ණෙ වා උපනෙතබ්බං. අඤ්ඤෙන භික්ඛුනා කායිකෙන පරිභොගෙන පරිභුඤ්ජිතබ්බං. න අජ්ඣොහරිතබ්බං.”[156]

නිස්සජනය කරන ලද්ද ලැබ හිස ගැල්වීම් ආදි වශයෙන් කායික පරිභෝගයෙන් පරිභෝග නො කළ යුතු ය. නො වැළඳිය යුතු ය. පහන් දැල්වීම් පිණිස හෝ කළු කිරීම පිණිස හෝ යෙදිය යුතු ය. අන්‍ය භික්ෂුවක් විසින් කායික පරිභෝගයෙන් පරිභෝග කළ යුතු ය. නො වැළඳිය යුතු ය.

අනිකකු විසින් නො පිළිගන්වන ලදුව තමා විසින් ම ගත් තෙල් ආදිය වැළඳීමට නුසුදුසු ය. ඇඟ ගැල්වීමට සුදුසු ය. කොතෙක් කල් තබා ගත ද නිසගි නො වේ. වැළඳුව හොත් පචිති ඇවැත් වේ. පසුව පිළිගන්නා ගෙන වැළඳුව හොත් දුකුළා ඇවැත් වේ.

පිළිගෙන රාත්‍රියක් ගත වූ සත්තාහකාලික යාවජීවික වස්තූන් යාවකාලික වස්තූන් හා මිශ්‍ර‍ කර වැළඳීම නුසුදුසු ය. අද කාලයේ පිළිගත් තෙල් ගිතෙල් ආදිය යාවකාලිකයන් හා එදින ම මිශ්‍ර‍ කර වැළඳීමට සුදුසු ය. එදින කාලයෙන් පසුව ඒවා ආහාරයන්ට මිශ්‍ර‍ කර නො වැළඳිය යුතුය. විකාලයෙහි පිළිගත් සත්තාහ කාලිකයට ආහාරයන් හා මිශ්‍ර‍ කර වැළඳීමට කාලයක් නැත. මීඇට එරඬුඇට ආදි යාවජීවික ඇටවර්ගවලින් ගන්නා තෙල ද සත්තාහකාලික ය. අද පිළිගත් ඇටවලින් අද ම ගත් තෙල සත් දිනක් කැප ය. පිළිගත් ඇටවලින් දෙවන දින ගත් තෙල සදිනක් කැප ය. තුන්වන දින ගත් තෙල පස් දිනක් කැපය. සතරවන දිනයේ ගත් තෙල සිවුදිනක් කැපය. පස් වන දින ගත් තෙල තෙදිනක් කැපය. සවන දින ගත් තෙල දෙදිනක් කැප ය. සත්වන දින ගත් තෙල එදින පමණක් කැප ය. පසු දින අරුණ නැඟීමෙන් පසු ඒවා නිසගි වේ. අටවන දිනයේ ගත් තෙල ඇඟ ගැල්වීම ආදිය පිණිස කැප ය. වැළඳීමට අකැප ය. පිළිගෙන සත්දින ඉක්මුණු තෙල් එක භාජනයක ඇත්තේ නම් එක් ඇවතක් වේ. භාජන බොහෝ ගණනක ඇත්තේ නම් භාජන ගණනින් ඇවැත් වේ. අන්‍ය නිස්සග්ගිය වස්තූන්ගෙන් ඇවැත් වන්නේ ද එසේ ම ය.

ප්‍ර‍ණීත භෝජන ශික්ෂාපදය.

“යානි ඛො පන තානි පණීතභොජනානි. සෙය්‍යථිදං, සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං මච්ඡො මංසං ඛීරං දධි, යො පන භික්ඛු එවරූපානි පණීතභොජනානි අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජෙය්‍ය පාචිත්තියං.”[157]

යම් මහණෙක් නොගිලන් වූයේ ගිතෙල් ය වෙඬරු ය තෙල් ය මීපැණි ය සකුරු ය මාලුය මස් ය කිරි ය දී ය යන මේවා මිශ්‍ර‍ කළ ප්‍ර‍ණීත භෝජන තමාගේ ප්‍රයෝජනය පිණිස ඉල්ලා වළඳා නම් පචිති ඇවැත් වේ.

මෙහි ප්‍ර‍ණීත භෝජනය යි කියනුයේ ගිතෙල් ආදි ප්‍ර‍ණීත ජාති නවය අතුරෙන් කවරක් හෝ මිශ්‍ර‍ කළ සප්තධ්‍යානයන් අතුරෙන් යම්කිසි ධාන්‍යයකින් පිසූ භෝජනය ය. මෙහි නො ගිලන් භික්ෂුවය යි කියනුයේ ප්‍ර‍ණීත භෝජනයක් නො ලැබුව ද යම් කිසි අපහසුවක් නැති භික්ෂුව ය. ගිලන් භික්ෂුවය කියනුයේ ප්‍ර‍ණීත භෝජනය නො ලැබෙත හොත් අපහසු භික්ෂුව ය.

නො ගිලන් භික්ෂුව, නෑයකු හෝ ඉල්ලන ලෙස පැවරූ කෙනකු හෝ නො වන ගිහියකුගෙන් ගිතෙල් හා බත් දෙන්නය කියා හෝ ගිතෙල් වත්කර බත් දෙන්නය කියා හෝ ගිතෙල් මිශ්‍ර‍ බත් දෙන්නය කියා හෝ ගිතෙල් සමඟ බත් දෙන්නය කියා හෝ ගිතෙලුත් බතුත් දෙන්නය කියා හෝ ඉල්ලයි නම් ඉල්ලීමේදී දුකුළා ඇවැත් වේ. පිළිගැනීමේදී ද දුකුළා ඇවැත් වේ. ගිලින වාරයක් පාසා පචිති ඇවැත් වේ. වෙඬරු ආදිය සම්බන්ධයෙන් ද කියන ලද පරිද්දෙන් ආපත්ති විභාගය සලකා ගත යුතු ය. ගිතෙල් හා බත් ඉල්වූ කල්හි දායකය වෙත ගිතෙල් නො තිබී බත් දී මේවායින් ගිතෙල් සාදාගන්නය යි කිරි හෝ වෙඬරු දුන්නේ ද ගිතෙල් දුන්නේ වේ. භික්ෂුවට ඒවායින් ද පළමු කී පරිදි ම ඇවැත් වේ. එළඟිතෙල් හා බත ඉල්ලූ කල්හි එළුකිරෙන් ගත් තෙල් දුන්නේ නම් එය පිළිගත ද ඉල්ලූ දෙයින් අනිකක් ලද බැවින් ඇවැත් නො වේ. යම් නො ගිලන් භික්ෂුවක් ශුද්ධ ගිතෙල් ආදිය ඉල්ලා නම් ඔහුට ඇවැත් වීම මහානාම සිකපදය අනුව කිය යුතුය. මහානාම සිකපදය ඉදිරියෙහි දක්වමු. මස්, මාලු, කිරි, දී යන මේවා ඉල්ලීම පිළිබඳව “න සූපං වා ඔදනං වා අගිලානෙ අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා”[158] යන සිකපදය අනුව ඇවැත් කිය යුතුය.

යම් භික්ෂුවක් ගිතෙල් ආදි ප්‍ර‍ණීත වස්තු නවයෙන් ම යුක්ත භෝජන එක් තැනකින් හෝ නොයෙක් තැන් වලින් හෝ ඉල්ලා සියල්ල මිශ්‍ර‍ කොට එයින් එක් පිඩක් වැළඳුව හොත් එකවර ම පචිති ඇවැත් නවයක් වේ.

ප්‍ර‍ථම පවාරණ ශික්ෂාපදය.

“යො පන භික්ඛු භුත්තාවී පවාරිතො අනතිරිත්තං ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්‍ය වා භුඤ්ජෙය්‍ය වා පාචිත්තියං.”[159]

යම් මහණෙක් ආහාර වළඳමින් සිටියේ පවාරණය කෙළේ අනතිරික්ත ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ කන්නේ හෝ අනුභව කරන්නේ හෝ වේ නම් ඒ මහණහට පචිති ඇවැත් වේ.

“පවාරණ” යන වචනය ප්‍ර‍තික්ෂේප කිරීමය, ආරාධනා කිරීමය යන අර්ථ දෙක ම කියැවෙන වචනයෙකි. “සංඝ භන්තෙ පවාරෙමි දිට්ඨෙන වා සුතෙන වා” යනාදීන්හි පවාරණ යනුවෙන් කියැවෙන්නේ ආරාධනා කිරීමය. මේ සිකපදයෙහි “පවාරිතො” යන වචනයෙන් කියැවෙන්නේ ප්‍ර‍තික්ෂේපය ය. මේ සිකපදයෙහි අදහස් කරන පවාරණය භික්ෂුවක් විසින් ඕදන කුම්මාස සත්තු මච්ඡ මංස යන පඤ්චවිධ භෝජනයන් අතුරෙන් යම් කිසි භෝජනයක් වළඳමින් සිටිනා අතර අනිකකු අත්පසේ සිට ඒ භෝජනයන් අතුරෙන් යම් කිසි භෝජනයක් භික්ෂුවට පිළිගන්වන කල්හි එය ප්‍ර‍තික්ෂේප කිරීම ය.

පඤ්චවිධ භෝජනයන් අතුරෙන් “ඔදන” යනු සාලි වීහි යව ගෝධුම කංගු වරක කුද්‍රෘසක යන සප්තධාන්‍යයන්ගේ හා අනුලෝම ධාන්‍යයන්ගේ ද සහල්වලින් පිසූ බත ය. ඒවායින් පිසූ කැඳ වුව ද ගත් තැන පෙනෙන තරමට උකු නම් භෝජනයට ම අයත් වේ. පවාරණයට වස්තු වේ. “කුම්මාස” යනු යවයෙන් හෙවත් ඉරිඟුවලින් සාදන රොටි හෝ එවැනි කෑම ජාතියකි. “සත්තු” යනු බැදපු පිටි ය. “මච්ඡ” යනු දිය මස් ය. “මංස” යනු ගොඩ මස් ය.

වළඳමින් සිටිය දී අත්පසට පැමිණ පිළිගන්වන භෝජනය ප්‍ර‍තික්ෂේප කළ භික්ෂුව ඒ ඉරියව් වෙනස් කිරීමෙන් පසු අතිරික්ත නො වූ යාවකාලික ආහාරයක් වැළඳුව හොත් පචිති ඇවැත් වේ. කුල දූෂණාදියෙන් උපන් අකප්පියි භෝජන හා අකප්පිය මස් ද පඤ්චවිධ භෝජනයන්ට අයත් නො වූ කැඳ අල පලතුරු කොළ පොතු කරටි ආදිය ප්‍ර‍තික්ෂේප කිරීමෙන් පවාරණය නො වේ.

පවාරණය සිදුවන්නේ පඤ්චාංගයක් සම්පූර්ණ වීමෙනි. එක් බත්හුලක් වුව ද ගිල ඇති බව, ඉදිරියට වැළඳීමට ඔහුගේ මුඛයෙහි හෝ අතෙහි හෝ පාත්‍රයෙහි හෝ තවත් ආහාර තිබීම, පඤ්ච භෝජනයට අයත් යම් කිසි ආහාරයක් දායකයා විසින් එළවීම, ඔහු භික්ෂුවගේ අත්පස සිටීම, භික්ෂුව විසින් කයින් හෝ වචනයෙන් හෝ එය ප්‍ර‍තික්ෂේප කිරීම ඒ පඤ්චාංගය ය.

ආහාර වැළඳීම ආරම්භ කළ පසු භික්ෂුව එක් බත්හුලකුදු ගිලීමෙන් ඔහු වෙත කටෙහි හෝ අතෙහි හෝ වළඳන භාජනයෙහි හෝ ආහාර ස්වල්පයකුදු ඇත්තේ නම් ඔහු වැළඳීම අවසන් නො කළ කෙනෙකි. එසේ සිට දායකයා පිළිගන්වන භෝජනය ප්‍ර‍තික්ෂේප කිරීමෙන් පවාරණය වේ. භික්ෂුවගේ මුඛයෙහි හෝ අතෙහි කිසි ආහාරයක් නැතිව පාත්‍රයෙහි පමණක් ආහාර ඇති කල්හි ඔහු එය අන්තැනකට ගොස් වැළඳීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ පාත්‍රයේ ආහාර අනිකකුට දීමට හෝ ඉවත ලීමට හෝ බලාපොරොත්තු වේ නම් ඒ කාලය තුළදී ප්‍ර‍තික්ෂේප කිරීමෙන් පවාරණය නො වේ. භික්ෂූන්ට පිළිගැන්වීම නො දත් ඇතැම් ගිහියෝ ආහාරතැටි ආහාරපිඟන් ගෙනවුත් ගිහියන්ට කෑම අල්ලන්නාක් මෙන් භික්ෂුව ඉදිරියේ කෑම භාජනය අල්ලා ගෙන බලා සිටිති. ඒවා ප්‍ර‍තික්ෂේප කිරීමෙන් පවාරණය නො වේ. පවාරණය වන්නේ දායකයා විසින් භික්ෂුවගේ අතට හෝ පාත්‍ර‍යට එළවන කල්හි ප්‍ර‍තික්ෂේප කිරීමෙන් ය. එළවීමය කියනුයේ බෙදන්නට හෝ දෙන්නට ළං කිරීම ය. ඇතැම්හු භික්ෂුවට ළං වීම වරදකැයි සිතා හැකිතරම් භික්ෂුවට දුරින් සිට පිළිගන්වන්නට බෙදන්නට තැත් කරති. දුර සිට පිළිගන්වන ඒවා ගැනීමෙන් දන්තපෝන සිකපදයෙන් ඇවැත් වේ. එබැවින් අත්පසට නො පැමිණ දුර සිට දෙන දේ ප්‍ර‍තික්ෂේප කිරීමෙන් ද පවාරණය නො වේ. පිළිගන්වන භෝජනය කයින් හෝ වචනයෙන් හෝ ප්‍ර‍තික්ෂේප කළ හොත් පවාරණය වේ. දායකයා පිළිවෙළින් බෙදමින් එන විට භික්ෂුව තමා ළඟට දායකයා පැමිණීමට කලින් ම අතින් පාත්‍ර‍ය වසාගෙන සිටිනා කල්හි දායකයා නො බෙදා ගිය ද පවාරණය නො වේ.

මෙසේ පවාරණය කළ භික්ෂුවට පවාරණය කළ ඉරියව්වෙන් ම සිට කැමති තාක් කල් ආහාර වැළඳීමට අවසර ඇත. ඉරියව්ව වෙනස් කළ පසු අනතිරිත්ත භෝජනයක් වැළඳුව ඇවැත් වේ. හිඳගෙන පවාරණය කළ භික්ෂුවට ඒ ස්ථානයේ හිඳිනාතුරු වැළඳීමෙන් ඇවැත් නැත. නැගිටීමෙන් පසු අනතිරික්ත භෝජනයක් වැළඳුව ඇවැත් වේ. දීර්ඝාසනයක වාඩිවී පවාරණය කළ භික්ෂුව ඒ ඉරියව්වෙන් ම එහා මෙහා වී තැන වෙනස් කළ ද ඉන්පසු වැළඳීමෙන් ඇවැත් වේ.

සිටගෙන හෝ යමින් ඇල්වතුර ටිකක් වුව ද බීම වරදක් ලෙස විනය නො දත්තෝ සිතති. විනය නො දත් ඇතැම් භික්ෂූහු ඇවතට බියෙන් ඇල්දිය ටිකක් වුව වාඩි වී බොති. විනය නො දත් ගිහියෝ ද භික්ෂුවක් සිටගෙන වතුර ටිකක් වුව ද බොනු දුට හොත් සිල් නැති භික්ෂුවකැයි ඒ භික්ෂුවට ගර්හා කරති. විනයෙහි නම්සිටගෙන නො වැළඳිය යුතුය යමින් නො වැළඳිය යුතුය කියා සිකපද නැත. යම් භික්ෂුවක් සිටගෙන පවාරණය කෙළේ නම් ඒ භික්ෂුවට සිටි තැන සිටගෙන ම කැමති තාක් කල් වැළඳිය හැකි ය. වාඩිවී වැළඳුව ඇවැත් වේ. යමින් පවාරණය කළ භික්ෂුවට නො නැවතී යමින් කැමති තාක් වැළඳිය හැකිය. යන ඉදිරියට වැටක් හෝ ගඟක් හෝ හසුවී යා නොහී නැවතුන හොත් ඉන්පසු වැළඳුව හොත් ඇවැත් වේ. මේ කරුණු සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි මෙසේ දක්වා ඇත්තේය.

“යො පන ගච්ඡන්තො පවාරෙති, සො ගච්ඡන්තොව භුඤ්ජිතුං ලභති, කද්දමං වා උදකං වා පත්වා ඨිතෙන අතිරිත්තං කාරෙතබ්බං, සචෙ අන්තරා නදී පූරා හොති, නදීතීරෙ ගුම්බං අනුපරියායන්තෙන භුඤ්ජිතබ්බං. අථ නාවා වා සෙතු වා අත්ථි තං අභිරුහිත්වා‘ පි චංකමන්තෙනෙව භුඤ්ජිතබ්බං. අථ නාවා වා සෙතු වා අත්ථි තං අභිරුහිත්වා පි චංකමන්තෙනෙව භුඤ්ජිතබ්බං. ගමනං න උපච්ඡින්දිතබ්බං.”[160]

අතිරිත්ත භෝජනය හා අනතිරිත්ත භෝජනය.

විහාරයට දන් ගෙනා දායකයන් ඒවා භික්ෂූන්ට බෙදා පිළිගැන්වීමෙන් පසුත් සමහරවිට බොහෝ ආහාරපාන ඉතිරි වේ. සාංඝික දානපොළවලදී ද බොහෝ ආහාරපාන ඉතිරි වේ. මේ සිකපදයෙහි අතිරේක භෝජනයයි කියනුයේ ඒවා නො වේ. පවාරණය කළ භික්ෂුව අතිරේකභෝජනය යි ඒවා වැළඳුව හොත් ඇවැත් වේ. මෙහි අතිරේක භෝජනය යි කියනුයේ ගිලන් භික්ෂුවකගෙන් ඉතිරි වන භෝජනයට හා විනය කර්මයෙන් අතිරිත්ත කළ භෝජනයටය. ගිලන් භික්ෂුවක් වළඳා ඉතිරි වූ භෝජනයත් ගිලන් භික්ෂුවක් උදෙසා විහාරයට ගෙනෙන ලදුව වැඩි වී ඇති ආහාරපානත් ගිලානාතිරිත්ත නම් වේ. පවාරිත භික්ෂුවට ඒ ගිලානාතිරික්තය වැළඳීමට අනුදැන ඇත්තේ ය.

අතිරිත්ත විනයකර්මය කරන්නේ මෙසේය. ඒ විනයකර්මය කොට භෝජනය කැපකරගෙන වළඳනු කැමති පවාරිත භික්ෂුව විසින් කැප වූ ද පිළිගත්තා වූ ද භෝජනයන් පාත්‍ර‍යක හෝ අන් බඳුනක හෝ තමාට වළඳන්නට වුවමනා පමණ ලා භික්ෂුවක් වෙත ගෙන ගොස් අත්පසෙහි සිට ආහාරභාජනය ඒ භික්ෂුව වෙතට ඔසවා “අතිරිත්තං කරොථ භන්තෙ” යි කිය යුතුය. අතිරිත්ත කරන භික්ෂුව විසින් එයින් ආහාර ස්වල්පයක් ගෙන යටත් පිරිසෙයින් එකබත්හුලක් හෝ ගෙන වළඳා ඉතිරි කොටස “අලමෙතං සබ්බං” යි කියා පවාරිත භික්ෂුවට දිය යුතුය. එසේ කිරීමෙන් ඒ භෝජනය අතිරිත්තභෝජනයක් වී පවාරිත භික්ෂුවට කැප වේ.

බුද්ධ කාලයේ භික්ෂූන් වහන්සේලා හීල්දානය දවල්දානය කියා දාන දෙකක් වැළඳූ බවට ලකුණක් විනය පොත්වලින් නොපෙනේ. ඒ කාලයේ භික්ෂූහු සමහර විට උදයෙහි කැඳ හා කැවිලි ජාති වැළඳූහ. සමහරවිට කැඳක් පමණක් වැළඳූහ. සමහරු කිසිවක් නො වැළඳූහ. දිනකට එක්වරක් වළඳන්නා වූ භික්ෂුවට මේ සිකපදය රැකීම අපහසු නැත. උදය දවල් දෙකට ම වළඳන භික්ෂූන්ට මේ සිකපදය රැකීම තරමක් අපහසු ය. උදේ වළඳන කල්හි දායකයන් හෝ කැපකරුවන් ගෙනැවිත් බෙදන ආහාරයන් ප්‍ර‍තික්ෂේප කළ හොත් එතැනින් නැඟිට දවල්දානය අතිරිත්තවිනයකර්මය නො කොට වැළඳුවහොත් වළඳන පිඩක් පාසා පචිති ඇවැත් වේ. උදය වළඳන කල්හි පවාරණය සිදු නොවන්නට පරෙස්සම් විය යුතුය. උදයේ වළඳනා කල්හි සියල්ල ම පිළිගන්වා ගෙන තමා විසින් ම බෙදා ගෙන වැළඳීම පවාරණයෙන් මිදිය හැකි එක් ක්‍ර‍මයෙකි. බෙදන තැනැත්තා අත්පසට එන්නට කලින් ම ඔහු නැවැත්වීම ද එක් ක්‍ර‍මයෙකි. දායකයා පිළිවෙළින් බෙදාගෙන එන විට තමා වෙත පැමිණෙන්නට කලින් ම වළඳන පාත්‍ර‍ය හෝ භාජනය අතින් වසාගෙන සිටීම ද එක් ක්‍ර‍මයකි. මේ ක්‍ර‍මවලින් බෙදීම නැවැත්විය නො හෙන කල්හි බෙදන තරමක් බෙදන්නට හැර තුෂ්ණිම්භූතව වැළඳූ කල්හි පවාරණය නො වේ. දවාලට ද අනතිරිත්තභෝජනය වැළඳිය හැකිය. ගෙනෙන පමණක් බෙදන්නට හැර සිටීමෙන් එන වරද බොහෝ ආහාර අපතේ යාමය. ආහාර අතර ඇතැමුන්ට වැළඳිය නො හෙන අප්‍රිය ආහාර ද ඇත. ඇතැමුන්ට වැළඳුව හොත් රෝග හට ගන්නා ආහාර ද ඇත. ඇති රෝග උත්සන්න වන අපථ්‍යාහාර ද ඇත. ඒවා ගැනත් භික්ෂූන්ට නිදහසක් තිබිය යුතු වුව ද ඒවා ගැන කිසිවක් විනයෙහි සඳහන්ව නැත. ඒ නිසා අපට ද ඒවා ගැන පිළිපැදිය යුතු ආකාරයක් නො කිය හැකි ය.

සැදැහැවතකු භික්ෂූන්ට දානයක් දෙන කල්හි ඔහු දෙන දේ ප්‍ර‍තික්ෂේප කොට භික්ෂූන් අන් තැනකට ගොස් වළඳනු දැකීම දායකයාගේ සිත රිදෙන කරුණෙකි. මේ සිකපදය පනවා ඇත්තේ ඒ නිසාය. භික්ෂුව අල්පේච්ඡ විය යුතුය. ලද දෙයකින් සතුටු විය යුතුය. ලද දේ ප්‍ර‍තික්ෂේප කොට හොඳ හොඳ දේ සෙවීමත් භික්ෂූත්වයට නො ගැලපෙන්නකි.

ද්විතීය පවාරණ ශික්ෂාපදය.

“යො පන භික්ඛු භික්ඛුං භුත්තාවිං පවාරිතං අනතිරිත්තෙන ඛාදනීයෙන වා භොජනීයෙන වා අභිහට්ඨුං පවාරෙය්‍ය හන්ද භික්ඛු ඛාදවා භුඤ්ජවාති ජානං ආසාදනාපෙක්ඛො භුත්තස්මිං පාචිත්තියං.”

යම් භික්ෂුවක් වළඳා පවාරණය කර සිටින භික්ෂුවක් වෙත අනතිරිත්ත ඛාද්‍ය හෝ භෝජන හෝ එළවා ඒ භික්ෂුවට චෝදනා කිරීමේ බලාපොරොත්තුවෙන් මහණ මේවා වළඳන්නය යි කියා නම් ඒ භික්ෂුව ඔහුගේ පැරැත්ත කිරීම නිසා වළඳා නම් වැළඳූ කල්හි භෝජනය දුන් භික්ෂුවට පචිති ඇවැත් වේ.

පවාරිත භික්ෂුව වෙත ආහාරය එළවීමේ දී දෙන භික්ෂුවට දුකුළා ඇවැත් වේ. පිළිගන්නා කල්හි ද දුකුළා ඇවැත් වේ. භික්ෂුව ඒ ආහාරය වළඳන කල්හි ගිලීමක් පාසා දුන් භික්ෂුවට දුකුළා ඇවැත් වේ. වළඳා අවසානයේ පචිති ඇවැත් වේ.

මහානාම ශික්ෂාපදය.

“අගිලානෙන භික්ඛුනා චතුමාසපච්චය පවාරණා සාදිතබ්බා, අඤ්ඤත්‍ර‍ පුන පවාරණාය අඤ්ඤත්‍ර‍ නිච්චපවාරණාය තතො චෙ උත්තරිං සාදියෙය්‍ය පාචිත්තියං.”[161]

බුදුන් වහන්සේගේ සුළුපියාගේ පුත්‍ර‍යකු වන වයසින් උන් වහන්සේට මසකින් වැඩි මහානාමශාක්‍ය නම් වූ සකෘදාගාමි ආර්‍ය්‍යශ්‍රාවකයෙක් විය. ඡබ්බග්ගිය භික්ෂූන් විසින් එතුමාට කළ කරදරයක් නිමිත්ත කොට මේ සිකපදය පනවන ලදී. මේ සිකපදයට මහානාම සිකපදය යන නම දී ඇත්තේ ඒ නිසා ය. සිකපදයේ වචන අනුව එය තේරුම් කරන්නට ගිය හොත් තේරුම් ගැනීම අපහසු වන බැවින් එහි අදහස පමණක් දක්වනු ලැබේ.

මේ සිකපදයෙහි පවාරණ යන වචනයෙන් දැක්වෙන්නේ ප්‍ර‍තික්ෂේපය නොව ආරාධනාවය. සැදැහැවතකු විසින් කාල නියමයක් හෝ බෙහෙත් නියමයක් හෝ බෙහෙත්වල ප්‍ර‍මාණ නියමයක් හෝ කොට තමාගෙන් බෙහෙත් පිළිගන්නා ලෙස ආරාධනාවක් කළ හොත්. ඒ අවස්ථාවෙහි බෙහෙත් වුවමනා නැත ද රෝගයක් සැදුණු විටෙක ගන්නා අදහසින් ඒ ආරාධනාව පිළිගත යුතුය. තෙමසක් මගෙන් බෙහෙත් ඉල්ලන්නය සිවුමසක් ඉල්ලන්නය යනාදි කාල නියමයක් කොට පවාරණය කළ (ආරාධනය කළ) දායකයාගෙන් යම් භික්ෂුවක් ඒ කාලය ඉක්මීමෙන් පසු බෙහෙත් ඉල්ලා නම් පචිති ඇවැත් වේ. බෙහෙත් නියමයක් ඇතිව පැවරූ දායකයාගෙන් ඔහු නියම කළ බෙහෙත් හැර අන් බෙහෙතක් ඉල්ලා නම් පචිති ඇවැත් වේ. බෙහෙත්වල ප්‍ර‍මාණයක් නියම කොට පැවරූ දායකයාගෙන් ප්‍ර‍මාණයට අධිකව බෙහෙත් ඉල්ලුව ද ඇවැත් වේ. බෙහෙත්වලින් වුවමනාවක් නැතිව සනීපයෙන් සිට බෙහෙත් ඉල්ලා නම් එයින් ද පචිති ඇවැත් වේ. පවාරණයේ කාලය ඉක්ම ගිය පසු රෝගයක් වැළඳුණ හොත් කාරණය කියා ඒ දායකයාගෙන් බෙහෙත් ඉල්ලුව ද ඇවැත් නැත. ඇවැත් වන්නේ කාලය ඉක්මීමෙන් පසු ඒ පවාරණය ඉදිරිපත් කොට බෙහෙත් ඉල්ලීමෙනි. ගිලන් භික්ෂුවකට කාගෙන් බෙහෙත් ඉල්ලුව ද ඇවැත් නැත. ආහාර පිළිගැනීම හා වැළඳීම පිළිබඳ ශික්ෂාපද තිහක් සේඛියාවෙහි ඇත. ඒවා ශාසනාවතරණයෙහි[162] විස්තර කර ඇති බැවින් මෙහි නො දක්වනු ලැබේ.

කප්පියාකප්පිය මත්ස්‍යමාංස

“න භික්ඛවෙ ජානං උද්දිස්සකතං මංසං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ තිකොටිපරිසුද්ධං මච්ඡමංසං අදිට්ඨං අසුතං අපරිසංකිතං”[163]

“මහණෙනි, දැන උදෙසා කළ මාංසය නො වැළඳිය යුතුය. යමෙක් වැළඳූයේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, භික්ෂූන් උදෙසා මරනු නො දුටු භික්ෂූන් උදෙසා මරන ලදැයි නො ඇසූ භික්ෂූන් උදෙසා මැරුයේදෝයි සැකයක් නැත්තා වූ ත්‍රිකෝටි පරිශුද්ධ මාංසය අනුදනිමි.”

ත්‍රිකෝටි පරිශුද්ධ මාංසයයි කියනුයේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංස ය. එය භාග්‍යවතුන් වහ්නසේ භික්ෂූන්ට වළඳන්නට අනුදැන ඇත්තේ ය. කරුණු තුන නම් “නො දැකීම, නො ඇසීම, සැක පහළ නො වීම, යන මේවාය. එහි නො දැකීම යනු මිනිසුන් විසින් භික්ෂූන්ට දීම සඳහා ගොඩදිය සතුන් මරනු නො දැකීමය. “නො ඇසීම” යනු භික්ෂූන් උදෙසා සතුන් මරන ලදැයි කියනු නො ඇසීම ය. සැක පහළවීම වනාහි දැකීමෙන් ද ඇසීමෙන් ද එදෙකින් තොරව ද සිදුවේ. පෙරදිනයේ මිනිසුන් මසුන් හෝ ගොඩසතුන් හෝ මැරීම සඳහා උපකරණ ගෙන යනු දුටුයේ නම්, ගමට භික්ෂූන් ගිය කල්හි ඔවුන් මත්ස්‍ය මාංස සහිත භෝජනය දුන්නේ නම් ඊයේ මිනිසුන් ගියේ භික්ෂූන් උදෙසා සතුන් මරන්නටදෝ යන සැකය ඇති වේ. ඒ ගැන සැකයක් ඇති වී නම් ඒවා නො පිළිගත යුතු ය. ඉදින් ඒ මිනිසුන් භික්ෂූන්ගෙන් ඒ මත්ස්‍යමාංස නො පිළිගැනීමේ හේතුව විචාරන්නේ නම් කාරණය කිය යුතුය. ඉදින් ඔවුහු “ස්වාමීනි, අපි සතුන් මැරුයේ අපගේ ම ප්‍රයෝජනය පිණිස ය. නැතහොත් රාජපුරුෂාදීන් පිණිසය” යි කීවාහු නම් ඒ මත්ස්‍යමාංස කැපය. පෙර දිනයෙහි මිනිසුන් සතුන් මරන ලදැයි අසන්නට ලැබූ ගමකට පසුදින භික්ෂූන් ගිය කල්හි එහි මනුෂ්‍යයෝ භික්ෂූන්ට මත්ස්‍යමාංස සහිත පිණ්ඩපාතයක් දුන්නාහු නම් මේවා අප උදෙසා මැරූ සතුන්ගේ මස්දෝ යි සැක පහළ වේ. එසේ සැක පහළ වුව හොත් ඒ මත්ස්‍යමාංස නො පිළිගත යුතුය. ඉදින් මනුෂ්‍යයෝ නො පිළිගැනීමේ හේතුව අසා භික්ෂූන් විසින් කාරණය කී කල්හි ඒවා භික්ෂූන් උදෙසා මැරූ සතුන්ගේ මස් නො වේ යයි කීවාහු නම් ඒ මස්කැපය. සතුන් මරන මරවන මිනිසකු භික්ෂූන්ට මස් මාලු සහිත දානයක් දුන් කල්හි භික්ෂූන්ට සැක ඇති විය හැකිය. සැකයෙන් ඒවා නො පිළිගත යුතුය. පිළිගත ද නො වැළඳිය යුතුය. දායකයා ඒ මස් මාලු භික්ෂූන් උදෙසා මැරූ සතුන් ගේ නො වේ යයි කියත හොත් වැළඳීමෙන් ඇවැත් නැත.

“පඤ්චසු හි සහධම්මිකෙසු යස්ස වා තස්ස වා අත්ථාය උද්දිස්ස කතං, සබ්බෙසං න කප්පති.”[164]

භික්ෂු භික්ෂූණී සාමණේර සාමණේරී ශික්ෂමානා යන පස් සහදැමියන් අතුරෙන් කවරකු හෝ උදෙසා කළ මත්ස්‍යමාංස සැමට ම නො වටී. විනයයෙහි මෙසේ දක්වා ඇති බැවින් එක් විහාරයක භික්ෂූන් උදෙසා මැරූ සතුන්ගේ මස අන් විහාරයකට දුන ද ඒ විහාරයේ භික්ෂූන්ට ද ඒවා කැප නැත. ඇවත පනවා ඇත්තේ දැන වැළඳීම ගැනය. ඒ විහාරයේ භික්ෂූන් ඒවා අනිත් විහාරයක භික්ෂූන් උදෙසා සම්පාදනය කළ මස් බව නො දැන වැළඳුව ඇවැත් නැත.

ප්‍ර‍තික්ෂිප්ත මාංස

“න භික්ඛවෙ මනුස්සමංසං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස.”

“න භික්ඛවෙ අප්පටිවෙක්ඛිත්වා මංසං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[165]

මහණෙනි, මිනීමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳා නම් ථුලැසි ඇවැත් වේ. මහණෙනි, නො විචාරා මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳා නම් දුකුළා ඇවැත් වේ. මස් ව්‍යඤ්ජනයක් පිළිගන්වන කල්හි එය කිනම් මසක් ද යන බව නො දැනෙනවා නම් දායකයාගෙන් අසා කැප මසක් නම් පිළිගත යුතුය. අකැප මසක් නම් ප්‍ර‍තික්ෂේප කළ යුතුය. දායකයා විමසන්නට කලින් ම බෙදුයේ නම් විමසා වැළඳිය යුතු ය. අකැප මසක් නම් පාත්‍රයෙන් හෝ වළඳන භාජනයෙන් ඉවත්කළ යුතු ය.

  1. න භික්ඛවෙ හත්ථිමංසං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.
  2. න භික්ඛවෙ අස්සමංසං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.
  3. න භික්ඛවෙ සුනඛමංසං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.
  4. න භික්ඛවෙ අභිමංසං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.
  5. න භික්ඛවෙ සීහමංසං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.
  6. න භික්ඛවෙ ව්‍යග්ඝමංසං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.
  7. න භික්ඛවෙ දීපිමංසං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.
  8. න භික්ඛවෙ අච්ඡමංසං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.
  9. න භික්ඛවෙ තරච්ඡමංසං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.[166]

මිනීමස් ඇත්මස් අස්මස් බලුමස් සර්පමස් සිංහමස් ව්‍යාඝ්‍ර‍මස් දිවිමස් වලස්මස් තරස්මස් යන මේ මස් දසය වැළඳීමට අකැප මස් ය. මිනිස් මස හැර ඉතිරි මස් නවය වැළඳීමෙන් දුකුළා ඇවැත් වේ. උද්දිස්සකත මාංසයෙන් ඇවැත් වන්නේ දැනවැළඳුව හොත් ය. මේ අකප්පිය දසමාංසයන් දැන වැළඳුව ද නො දැන වැළඳුව ද ඇවැත් වේ. නොදැන වැළඳූ භික්‍ෂුව පසුව තමා වැළඳූ මාංසය අකප්පිය මාංසයකැ යි දැන ගත හොත් ඇවත දෙසිය යුතු ය. දැකීමෙන් පමණක් තේරුම් ගත නො හෙන මාංසය කිනම් මාංසයක් දැ යි විමසා පිළිගත යුතු ය. පිළිගත් පසු හෝ විමසා වැළඳිය යුතු ය. මේ රටේ දන් දෙන මිනිසුන් කියන ලද අකප්පිය මාංසයන් අනුභව කරන්නවුන් නො වන බැවින් දන් දෙන තැන්වලදී ලැබෙන මස් අකප්පිය මස්දෝයි සැකයක් ඇති නො වන බැවින් නො විමසුව ද වරද නැත.

මිනිස් තෙල හැර මස් අකැප සතුන්ගේ තෙල කැපය. මිනිසාගේ හා හස්ත්‍යාදීන්ගේ කිරි ගිතෙල් වෙඬරු දී මෝරු කැපය. මස් අකැප සතුන්ගේ ලේ සම් ඇට ලොම් යන මේවාත් අකැප ය. බෙහෙතකට වුව ද යොදා වැළඳුව හොත් ඇවැත් වන බව කියා ඇත.

ශයනය කිරීම පිළිබඳ සිකපද

“යො පන භික්ඛු අනුපසම්පන්නේන උත්තරිං දිරත්තතිරත්තං සහසෙය්‍යං කප්පෙය්‍ය පාචිත්තියං.”[167]

යම් මහණෙක් අනුපසම්පන්නයා සමග දෙතුන් රැයකට වඩා එක් සෙනසුනක ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.

මේ සිකපදයෙහි “ශයනය කිරීම” යි කියනුයේ කය දිග හැර වැතිර ගැනීමය. එසේ වැතිර ගත් භික්ෂුවට නින්දයාම හෝ නො යෑම ඇවැත් වීමට හෝ නො වීමට කරුණු නො වේ. මෙහි “අනුපසම්පන්නය” යි කියනුයේ භික්ෂුව හැර සෙස්සන්ටය. තිරිසන් සත්ත්වයෝ ද අනුපසම්පන්න සංඛ්‍යාවට අයත් වෙති. තිරිසන් සතකු සමග වුව ද එක් සෙනසුනක තුන් රැයකට අධිකව ශයනය කළ භික්ෂුවට ඇවැත් වේ. මෙහි ඇවැත් වීමට ගණන් ගනු ලබන්නේ ඉතා කුඩා තිරිසනුන් හැර පාරාජිකාවට වස්තු වන තිරිසනුන් ය. බළල් තලගොටි මුගටි හෝතඹු කුකුළු පරෙවි ආදීහු පාරාජිකාපත්තියට වස්තු වන කුඩා සත්තුය. මිනිසුන් හා ලොකු සතුන් සමඟ ම නො ව පාරාජිකා වස්තු වන බළල් ආදීන් සමඟ වුව තුන් රැයකට අධික කාලයක් ශයනය කරන භික්ෂුවට ඇවැත් වේ. ලේන් ගේකුරුලු මී ආදී ඉතා කුඩා සතුන් හා ශයනයෙන් ඇවැත් නො වේ. බළල් ආදි සතුන්ගේ පාරාජිකාවට වස්තුවීම නො වීම පිළිබඳ විස්තරයක් කරත හොත් ලියන්නට වන්නේ අසභ්‍ය කථාවකි. එබැවින් ඒ ගැන විස්තරයක් නො කරමු.

සහසෙය්‍යාපත්තියට භූමිය වන්නේ සම්පූර්ණයෙන් සෙවිලි කොට සම්පූර්ණයෙන් ආවරණය කළ ගෙය හා වැඩිහරියක් සෙවිලි කළ වැඩිහරියක් ආවරණය කළ ගෙය ය. එබඳු ගෙයක භික්ෂුවක් අනුපසම්පන්නයකු හා ශයනය කිරීමේදී පළමුවන රාත්‍රියේ ඇවැත් නො වේ. දෙවන රාත්‍රියේ ද ඇවැත් නොවේ. තුන්වන රාත්‍රියේ ද ඇවැත් නො වේ. සතරවන රාත්‍රිය පැමිණි කල්හි අනුපසම්පන්නයකු ශයනය කරන ගෙට භික්ෂුව ගොස් ශයනය කළ ද භික්ෂුව ශයනය කරන ගෙන අනුපසම්පන්නයකු පැමිණ ශයනය කළ ද දෙදෙනා එකවර ශයනය කළ ද භික්ෂුවට පචිති ඇවැත් වේ. භික්ෂුව සතරවන රාත්‍රියෙන් පසු නො කඩ කොට අනුපසම්පන්නයන් හා ශයනය කෙරේ නම් කොතෙක් කල් වුව ද රාත්‍රියක් පාසා ඇවැත් වේ. රාත්‍රියේ වරින් වර නැගිට නැවත නැවත ශයනය කළ හොත් ශයනය කරන වාරයක් පාසා ඇවැත් වේ. භික්ෂුව නිදා සිටියදී අනුපසම්පන්නයා වරින් වර නැගිට නැවත නැවත ශයනය කෙරේ නම් ඒ සෑම වාරයක් පාසා ම නිසා සිටින භික්ෂුවට පචිති ඇවැත් වේ.

යම් භික්ෂුවක් එක් ආවාසයක එක ම අනුපසම්පන්නයකු හා තුන් රැයක් ශයනය කොට සතරවන රාත්‍රියේ ද ඒ අනුපසම්පන්නයා සමඟ එහි ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ. ඉන්පසු ඒ අනුපසම්පන්නයා හා එහි ශයනය කෙරේ නම් දිනපතා පචිති ඇවැත් වේ.

භික්ෂුවක් එක් ආවාසයක වෙන් වෙන්වූ අනුපසම්පන්නයන් සමඟ තුන් රැයක් ශයනය කොට සතරවන රැයෙහි අන් අනුපසම්පන්නයකු සමඟ එහි ශයනය කෙරේ නම් ඒ රාත්‍රියේ පචිති ඇවැත් වේ. ඉන්පසුත් නොකඩ කොට ශයනය කෙරේ නම් දිනපතා ඇවැත් වේ.

යමෙක් එක් අනුපසම්පන්නයකු හා තුන් රැයක් වෙන් වෙන් වූ ආවාසවල ශයනය කොට සතරවන රාත්‍රියේ අන් ආවාසයක ඒ අනුපසම්පන්නයා හා ශයනය කෙරේ නම් ඒ රාත්‍රියේ පචිති ඇවැත් වේ. ඉන්පසු නො නවත්වා ශයනය කෙරේ නම් දිනපතා ඇවැත් වේ.

යමෙක් නා නා ආවාසයන්හි නා නා අනුපසම්පන්නයන් හා ශයනය කොට සිවුවන රැයෙහි අන් ආවාසයක අන් අනුපසම්පන්නයකු හා ශයනය කෙරේ නම් ඒ රාත්‍රියේ පචිති ඇවැත් වේ. එතැන් පටන් කොහි ගොස් ශයනය කළ ද රාත්‍රියක් පාසා ඇවැත් වේ.

මනුෂ්‍ය අනුපසම්පන්නයන් නැති භික්ෂූන් පමණක් නිදන ආවාසයක දොර වසා භික්ෂූන් සැතපුණු පසු විවෘත වූ ඉස්තෝප්පුවට බල්ලන් බළලුන් පැමිණ නිදත් නම් ඔවුන් නිසා ද එහි වෙසෙන භික්ෂූන්ට ඇවැත් වේ. පරෙවියා ද පාරාජිකාවට වස්තු වන සතෙකි. ආවාසයේ සිදුරුවලින් පරෙවියන් ඇතුළුව නිදත් නම් ඔවුන් නිසා ද එහි වෙසෙන භික්ෂූන්ට ඇවැත් වේ. සීලිමක් ඇති ආවාසයක එහි සිදුරුවලින් පරෙවියන් පැමිණ වාසය කළ ද ඔවුන්ට ගෙතුළට පැමිණිය හැකි සිදුරු සීලිමෙහි නැති නම් ඔවුහු පිටතින් ම අවුත් පිටතින් ම යත් නම් ඔවුන් නිසා එහි වෙසෙන භික්ෂූන්ට ඇවැත් නො වේ.

බොහෝ අනුපසම්පන්නයන් නිදන ගෙයක නිදන භික්ෂුවට අනුපසම්පන්නයන්ගේ ගණනට ඇවැත් වේ. බොහෝ භික්ෂූන් වෙසෙන ගෙයක එක් අනුපසම්පන්නයෙක් ශයනය කෙරේ නම් ඔහු නිසා සියලු භික්ෂූන්ට ඇවැත් වේ. මැදින් බිත්තියකින් වෙන් කර ඇති එක පැත්තකින් අනික් පැත්තට මිදුලට බැස මිස යා නො හෙන එක් පියැස්සක් ඇති ගෙයි එක පැත්තක වෙසෙන අනුපසම්පන්නයන් නිසා අනික් පැත්තේ නිදන භික්ෂූන්ට ඇවැත් නො වේ. එක් වහලක් හා එක් ඉස්තෝප්පුවක් ඇති දිග කාමර පේළියක එක් කාමරයක නිදන භික්ෂුවට එහි ඉස්තෝප්පුවේ හෝ අන් කාමරයක නිදන අනුපසම්පන්නයන් නිසා ඇවැත් විය හැකිය.

අනුපසම්පන්නයන් හා නිදන භික්ෂුව තුන්වන රාත්‍රියේ අරුණට පෙර නැගිට ආවාසයෙන් බැහැරව සිට අරුණෝදයෙන් පසු ආවාසයට ඇතුළු වුව හොත් ඒ භික්ෂුවට තෙදිනක් ඉක්මෙන තුරු සහසෙය්‍යාපත්තිය නො වේ. තෙදිනකට වරක් අරුණට පෙර නැඟිට ගෙයින් පිටවී සිට නැවත එන භික්ෂුවට ඇවතින් මිදී සෑම රාත්‍රියක ම අනුපසම්පන්නයන් හා සයනය කළ හැකිය. හිරු උදාවන තෙක් ශයනය කිරීම පැවිද්දන්ට තබා ගිහියන්ට ද නුසුදුසු ක්‍රියාවෙකි. ශ්‍ර‍මණ ධර්මය පුරන පැවිද්දන්ට රාත්‍රියේ පශ්චිමයාමයේ අවසාන භාගය ඉතා හොඳ වෙලාවකි. මෙය සමාධිය නො ලැබූ අයට සමාධිය ලැබෙන වෙලාවකි. භාවනය දියුණු වන වෙලාවකි. බොහෝ යෝගාවචරයෝ මේ වෙලාවේ දී මගපල ලබති. එබැවින් ශික්ෂාකාමී පැවිද්දෝ අරුණට පෙර නැගිට භාවනා කරති. වැඳුම් පිදුම් කරති. වත් පිළිවෙත් කරති. එසේ කරන භික්ෂූහු කිසි කලෙක සහසෙය්‍යාපත්තියට නො පැමිණෙති. අරුණට පෙර නැගිට එළිමහනෙහි විසීම ගිලන් වූ විට දුෂ්කරය. එළිමහනට යාම අපහසු ගිලන් භික්ෂූන් අරුණට පෙර නැගිට තමන් නිදන ආවාසය තුළ ම අරුණෝදය තෙක් වාඩි වී හෝ සිටිය යුතු ය. සක්මන් හෝ කළ යුතුය. නිදන ඉරියව්ව හැර අන් ඉරියව්වකින් විසීමෙන් ද ඇවතින් මිදේ. එසේ නො කළ හැකි ගිලන් භික්ෂුවක් වේ නම් තමා වෙසෙන ආවාසයේ නිදන අනුපසම්පන්නයන් අරුණට පෙර අවදි කරවා ගෙයින් බැහැර කළ යුතු ය. ඔවුන් ඒ ගෙය තුළ ම වුව ද නිදන ඉරියව්ව හැර අන් ඉරියව්වකින් විසුව ද ඇවැත් නො වේ. ගිලනුන්ට නිදහස ඇති ඇතැම් සිකපද ද ඇත. මේ සහසෙය්‍ය ශික්ෂාපදය ගිලන් නො ගිලන් සැමට ම සාධාරණ ය. ගිලන්බව මේ සිකපදයෙන් ඇවැත් නො වීමට කරුණක් නො වේ.

ද්විතීය සහසෙය්‍ය ශික්ෂාපදය.

“යො පන භික්ඛු මාතුගාමෙන සහසෙය්‍යං කප්පෙය්‍ය පාචිත්තියං.”[168]

යම් මහණෙක් මාගමක් හා එක් ගෙයක ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.

මෙහි මාගම ය යි කියනුයේ මනුෂ්‍ය ස්ත්‍රියට ය. එදින උපන් දැරියක සමඟ වුව ද ශයනය කිරීමෙන් මේ සිකපදයෙන් ඇවැත් වේ. ප්‍ර‍ථම ශික්ෂාපදයෙන් ඇවැත් වන්නේ තෙදිනක් නිදා සතරවන රාත්‍රියේ ද අනුපසම්පන්නයන් හා ශයනය කළ හොත් ය. මේ සිකපදයෙන් පළමු වන රාත්‍රියේ ම ඇවැත් වේ. රාත්‍රිකාලයෙහි මාගමක් ශයනය කරන ගෙයක් තුළ වැතිර ගනු සමග ම භික්ෂුවට පචිති ඇවැත් වේ. රාත්‍රිකාලයෙහි භික්ෂුව නිදාසිටින ගෙයට මාගමක් පැමිණ විනාඩියක් වුව ද නිදාගත හොත් භික්ෂුවට ඇවැත් වේ. පාරාජිකාපත්තියට ප්‍ර‍මාණ ව තිරශ්චීන ස්ත්‍රියක් හා ශයනය කිරීමෙන් දුකුළා ඇවැත් වේ.

දිවා සයනය

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ වෛශාලි නගරය සමීපයේ මහවනයෙහි කූටාගාරශාලාවෙහි දිවාවිහරණයට ගිය භික්ෂුවක් දොර නො වසා එහි ශයනය කෙළේ ය. තද නින්දට වැටුණා වූ ඒ භික්ෂුවගේ කුඩා මහත් ශරීරාංගයෝ වාතයෙන් තද වී ගියහ. විනෝදය පිණිස විහාර බලා ඇවිදින ගැහැණු කණ්ඩායමක් එහි පැමිණියහ. ඔවුහු කූටාගාර ශාලාවට පිවිසියාහු, හොත් භික්ෂුවගේ කර්මණ්‍ය ව තුබූ පුරුෂ නිමිත්ත දැක කාමරාගයෙන් අන්ධ වූවෝ ඒ භික්ෂුවගේ පුරුෂ නිමිත්තෙහි රිසි සේ ගටා තම තමන්ගේ කාමරාගයන් සන්සිඳවා ගත්හ. තද නින්දෙහි සිටි භික්ෂුවට ඔවුන්ගේ ක්‍රියාව නො දැනිණ. ඒ භික්ෂුව රහත් කෙනෙකි. රහතුන්ට ශුක්‍රමෝචනයක් නැති බැවින් නිදන භික්ෂුවගේ පුරුෂ නිමිත්ත වෙනසකට නො පැමිණ කර්මණ්‍යත්වයෙන් ම පැවතිණ. ස්ත්‍රීහු එය බලා මොහු එසේ මෙසේ කෙනකු නොව පුරුෂෝත්තමයෙකැයි කියා එහි සුවඳ හා මල් තබා ගියහ. භික්ෂූහු අපවිත්‍ර‍ ශරීරයෙන් නිදන ඒ භික්ෂුව දැක කාරණය තේරුම් ගෙන ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පුරුෂනිමිත්ත කර්මණ්‍ය වීමේ හේතු පසක් දක්වා වදාරා “මහණෙනි, ඒ භික්ෂුව ක්ෂීණාශ්‍ර‍වයෙක. ඔහුගේ පුරුෂනිමිත්ත රාගයෙන් කර්මණ්‍ය වීමට හේතුවක් නැත. අවකාශයක් නැතය” යි ද වදාළ සේක. ඉක්බිති “අනුජානාමි භික්ඛවෙ දිවා පතිසල්ලීයන්තෙන ද්වාරං සංවරිත්වා පතිසල්ලීයිතුං”[169] යනු වදාළ සේක. දවල් නිදන භික්ෂුව විසින් දොර වසාගෙන නිදන්නට අනුදනිමිය යනු එහි තේරුම ය.

“අනුජානාමි භික්ඛවෙ දිවා පතිසල්ලීයන්තෙන ද්වාරං සංවරිත්වා පතිසල්ලීයිතුං” යන මේ පාඨයෙන් දොර නො වනසා දවල් නිදන්නාහට මෙනම් ඇවතකැ යි කෙළින් ම ඇවතක් නො දැක්වේ. එහෙත් ඒ පාඨය වදාළේ දවල් දොර නො වසා නිදීම නිසා වූ වරදින් සිදු වූ තවත් වරදක් සම්බන්ධයෙනි. එබඳු කරුණුවලදී ඇවතක් පැනවීම භාග්‍යවතුන් වහන්සේගේ සිරිත ය. ඒ වරද ඇවතක් පැනවීමට සුදුසු වරදෙකි. මෙබඳු කරුණුවලදී භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ දුක්කටාපත්තියකි. දවාලෙහි දොර නො වසා ශයනය කිරීම ගැනත් දුකුළා ඇවතක් පැනවීම භාග්‍යවතුන් වහන්සේගේ අදහස විය හැකිය. එබැවින් බුද්ධමතය දැන ගැනීමට සමත් උපාල්‍යාදි මහරහත්හු බුද්ධමතය දැන එය අනුව “අනුජානාමි භික්ඛවෙ දිවා පතිසල්ලීයන්තෙන” යනාදි පාඨයට දොර නො වසා දවල් නිදන්නා වූ භික්ෂුවට ‘දුකුළා ඇවැත් වේ ය’යි අර්ථකථා තැබූහයි සමන්තපාසාදිකාවෙහි දක්වා ඇත. ඒ ඇවත සිදුවන නො වන ආකාරයන් දක්වන විස්තරයක් ද අටුවාවෙහි දක්වා ඇත. නො වසා නිදත හොත් ඇවැත් සිදු වන, නො වන දොරවල් පිළිබඳ විස්තරයක් ද අටුවාවෙහි දැක් වේ. අටුවාවෙහි දැක්වෙන පැරණි දොරවල් දැන් දක්නට නැත. ඒ විභාගයෙන් දැක්වෙන්නේ වැසීම ඇරීම පහසු දොරවල් නො වසා නිදා ගැනීමෙන් ඇවැත් වන බවත් වැසීම ඇරීම අපහසු දොරවල් නො වසා නිදා ගත ද ඇවැත් නො වන බවත් ය. මෙකල ඇති සරනේරු යෙදූ දොරවල් වැසීම ඇරීම පහසු දොරවල් වන බැවින් ඒවා නො වසා නිදා ගැනීමෙන් ඇවැත්වන බව කිය යුතුය. දවල් දොරවල් වැසීම රාත්‍රියෙහි වසන්නාක් මෙන් අගුල් ලා නො වැසුව ද වරද නැත. දොර පියන උලුවස්සට හොඳට ම හේත්තු වන පරිදි නො වැසුව ද වරද නැත. උලුවස්සටත් දොර පියනටත් අතර මිනිසකුගේ හිස ඇතුළු නො කළ හැකි තරමට වසා නිදා ගත ද ඇවැත් නො වන බව කියා ඇත. නිතර ම ජනයා එහා මෙහා යන නිසා දොර වසා තබා ගත නො හෙන තැනක නම් දොර නො වසා නිදාගත ද වරද නැත. දොර බලා ගන්නට කෙනකු ඇති තැන ඔහු දොර බලා ගන්නවා ඇතය යි සිතා නිදා ගත ද, දොර ගැන බලා ගන්නට සමීපයේ සිටින අයට කියා නිදා ගත ද, දොරක් නැති තැනක දොර නො වසා නිදා ගත ද, දොර වැසිය නො හෙන තත්ත්වයක් පැමිණ ඇති විටෙක නො වසා නිදා ගත ද ඇවැත් නො වන බව දක්ව ඇත්තේ ය. “අත්ථාපත්ති දිවා ආපජ්ජති නො රත්තිං”[170] යි පරිවාරපාළියෙහි දක්වා ඇත්තේ ද මේ ආපත්තිය ය. මෙය හැර රාත්‍රියෙහි නො පැමිණෙන දවාලෙහි පමණක් පැමිණෙන අන් ඇවැතක් නැත.

“න භික්ඛවෙ එකභාජනෙ භුඤ්ජිතබ්බං, න එකථාලකෙ පාතබ්බං, න එකමඤ්චෙ තුවට්ටිතබ්බං, න එකත්ථරණෙ තුවට්ටිතබ්බං, න එකපාපුරණෙ තුවට්ටිතබ්බං, න එකත්ථරණපාපුරණෙ තුවට්ටිතබ්බං, යො තුවට්ටටෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[171]

මහණෙනි, එක බඳුනෙහි නො වැළඳිය යුතුය, එක් තලියක නො පිය යුතුය, එක ඇඳෙහි නො නිදිය යුතුය, එක් ඇතිරියෙහි නො නිදිය යුතුය. එක පොරෝණයකින් නො නිදිය යුතුය. එක් ඇතිරියක් අතුරා එය ම පොරොවා නො නිදිය යුතුය.

මුස්ලිම්කාරයෝ එක් භාජනයකට කෑම බෙදා කීපදෙනා වට වී හිඳ එකට අනුභව කරති. භික්ෂූන් දෙදෙනකු හෝ වැඩි දෙනකු එසේ එක් භාජනයක වැළඳුව හොත් සැමට ම දුකුළා ඇවැත් වේ. එක් භික්ෂුවක් වළඳා ඉතිරි කොටස ඒ භාජනයේ ම අනිකකු වැළඳුව ඇවැත් නො වේ. එක් භාජනයක ඇති කැවිලි ජාති පළතුරු ජාති භාජනයෙන් අතට ගෙන අතෙහි තබාගෙන කීපදෙනකුත් වැළඳුව ද ඇවැත් නො වේ.

එක් ඇඳක භික්ෂුවක් නිදා සිටින කල්හි අනිකකු නිදා ගත හොත් දුකුළා ඇවැත් වේ. එක් භික්ෂුවක් ඇඳෙහි නිදා සිටියදී අනිකකු වාඩි වී සිටීමෙන් ඇවැත් නො වේ. පළලැති ඇඳක මැදින් කොට්ටයක් හෝ එවැනි අනිකක් හෝ තබා වෙන් කරගෙන ශයනය කිරීමෙන් ඇවැත් නො වේ. යටත් පිරිසෙයින් සැරයටියක් පටියක් වුව ද මැද තබා වෙන් කර ශයනය කිරීමෙන් ඇවැත් නො වේ. එක් ඇතිරියක නිදීමෙහි ක්‍ර‍මයත් එසේ ය. දෙදෙනකු එක් පොරෝනයක් පොරවා නිදා ගත ද දුකුළා ඇවැත් වේ. ඇතිරියක් එළා එහි කොටසක් ම පොරොවා දෙදෙනකු ශයනය කළ ද දුකුළා ඇවැත් වේ.

හිඳීම පිළිබඳ ශික්ෂාපද

“අනුජානාමි භික්ඛවෙ නවකෙන භික්ඛුනා උද්දිසන්තෙන සමකෙ වා ආසනෙ නිසීදිතුං උච්චතරෙ වා ධම්මගාරවෙන. ථෙරෙන භික්ඛුනා උද්දිසාපෙන්තෙන සමකෙ වා ආසනෙ නිසීදිතුං නීවතරකෙ වා ධම්මගාරවෙන.”[172]

මහණෙනි, මහලු භික්ෂූන්ට ධර්මය හෝ විනය උගැන්වීම සඳහා උදෙසන නවක භික්ෂුව විසින් සමාන වූ අසුනෙහි හෝ උස් වූ අසුනෙහි හෝ ධර්මගෞරවයෙන් හිඳීම අනුදනිමි. ධර්මය හෝ විනය නවක භික්ෂුවගෙන් ගන්නා වූ ස්ථවිර භික්ෂුව විසින් සම වූ ආසනයේ හෝ නීචාසනයේ ධර්ම ගෞරවයෙන් හිඳීම අනුදනිමි.

පුද්ගලගෞරවය ධර්මගෞරවය යි ගෞරවය දෙයාකාර වේ. නවක භික්ෂූන් විසින් ස්ථවිර භික්ෂූන්ට කරන ගෞරවය පුද්ගලගෞරවය ය. ධර්මගෞරවය පුද්ගලගෞරවය මැඩ සිටින්නකි. ස්ථවිරභික්ෂුවක් නවක භික්ෂුවකගෙන් ධර්මවිනය පිළිබඳ පාඩමක් උගන්නා කල්හි නවක වූ පාඩම කියාදෙන භික්ෂුව හිඳිනා අසුනට උසසුනක ස්ථවිරභික්ෂුව නො හිඳිය යුතුය. සම වූ හෝ නීච වූ හෝ අසුනක හිඳිය යුතුය. නවක භික්ෂුව නිතර ම උච්චාසයනය ස්ථවිරභික්ෂුවට දී තමා නීචාසනය ගත යුතුය. එහෙත් ධර්මවිනය උගැන්වීමේ දී නවකභික්ෂුව නීචාසනයෙහි නො හිඳිය යුතුය. සම වූ හෝ උස් වූ හෝ අසුනෙහි හිඳිය යුතුය.

නවකභික්ෂූන්ට ස්ථවිරභික්ෂූන් හා ඒකාසනයෙහි වාඩිවීම නුසුදුසුය. “අනුජානාමි භික්ඛවෙ තිවස්සන්තරෙන සහ නිසීදිතුං”[173] යි වදාරා ඇති බැවින් තමාට වස් එකකින් හෝ දෙකකින් වැඩි භික්ෂූන් සමග ඒකාසනයෙහි හිඳිය යුතුය. වස් තුනේ පටන් වැඩිවස් ඇති භික්ෂූන් හා ඒකාසනයේ නො හිඳිය යුතුය. උපසම්පදා වී වසක් නො වූ භික්ෂුවට එක්වස් ඇත්තා වූ ද, දෙවස් ඇත්තා වූ ද භික්ෂුව හා ඒකාසනයේ වාඩි විය හැකිය. උපසම්පදාවෙන් වසක් ඇති භික්ෂුවට දෙවසක් ඇත්තා වූ ද තුන්වසක් ඇත්තා වූ ද භික්ෂුව හා ඒකාසනයේ හිඳිය හැකිය. පස්වස් භික්ෂුවට සවස් සත්වස් භික්ෂූන් හා හිඳිය හැකි ය.

“අනුජානාමි භික්ඛවෙ දුවග්ගස්ස මඤ්චං දුවග්ගස්ස පීඨං”[174] යනුවෙන් ඇඳ හා පීඨය එකවර දෙදෙනකුට පමණක් වාඩිවීමට අනුදැන වදාරා ඇති බැවින් ඇඳක එකවර සමානාසනික දෙනමක් පමණක් හිඳිය යුතුය. දෙනමකට හිඳීමට අනුදැන වදාළ පීඨය කෙබඳු අසුනක්දැ යි තේරුම් ගැනීම අපහසුය. සැතපීමට සාදා ඇති ඇඳ හා බොහෝ දෙනාට වාඩිවීමට සාදා ඇති දීර්ඝාසනයත් හැර දෙදෙනකුට හිඳීම සඳහා තනා ඇති අසුන් පීඨ සැටියට සැලකිය හැකිය. දැනට ඇති පුටුවල දෙදෙනකුට හිඳිය නො හෙන බැවින් දෙදෙනකුට අනුදැන වදාළ පීඨය දැනට භාවිතා කරන පුටුව නො විය හැකිය. ඇඳෙහි හා පීඨයෙහි අනුපසම්පන්නයන් හා හිඳීම ද භික්ෂූන්ට නුසුදුසු ය. එකට හිඳ ගැනීමට සුදුස්සෝ සමානාසනික නම් වෙති.

“අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා පණ්ඩකං මාතුගාමං උභතොබ්‍යඤ්ජනකං අසමානාසනිකෙහි සහ දීඝාසනෙ නිසීදිතුං.”[175]

යනුවෙන් පණ්ඩකයාත් මාගමත් උභතෝබ්‍යඤ්ජනකයාත් හැර සමානාසනික නො වන අන් හැමදෙනා හා දීර්ඝාසනයේ හිඳීම අනුදැන ඇත්තේ ය. එකවර තිදෙනෙකුට හා වැඩි ගණනකට හිඳීමට සෑහෙන බංකු ආදිය දීර්ඝාසන ය.

“න ච භික්ඛවෙ අප්පටිවෙක්ඛිත්වා ආසනෙ නිසීදිතබ්බං, යො නිසීදෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[176]

මහණෙනි, නො විමසා අසුනෙහි නො හිඳිය යුතුය. යමෙක් හිඳගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

යට ඇති දෑ නො දැනෙන පරිදි ඇතිරිල්ලෙන් වසා ඇති අසුනෙක නො විමසා හිඳ ගත ඇවැත් වේ. වැස්මක් නැති අසුනෙහි විමසීමට දෙයක් නැත. බලා සිටියදී ඇතිරිල්ලක් එලූ අසුනෙහි ද යට ඇති දෑ දැනෙන පමණට තුනී ඇතිරිල්ලක් එලා ඇසි අසුනෙහි ද අනිකකු අසුන අතින් පිරිමැද මෙහි වැඩ සිටින්නය යි කී අසුනෙහි ද නො විමසා හිඳීමෙන් ඇවැත් නැත. විමසීම යනු යමක් යට වී ඇතිදැයි අසුන් ඔබා පිරිමැද බැලීම ය.

න ථෙරෙ භික්ඛු අනුපඛජ්ජ නිසීදිතබ්බං.

න නවා භික්ඛු ආසනෙන පටිබාහිතබ්බං.

න සංගාටිං ඔත්ථරිත්වා අන්තරඝරෙ නිසීදිතබ්බං.[177]

ස්ථවිරභික්ෂූන්ට ඉතා ළං ව නො හිඳිය යුතුය. නවකභික්ෂූන්ට ආසන අවහිර නො කළ යුතුය. සංඝාටිය යට කොට නො හිඳිය යුතුය.

දාන ශාලාවක හිඳිනා කල්හි එහි පනවා ඇති ආසන සම ඒවා නම් සංඝස්ථවිරයන් වහන්සේ සමීපයෙන් ආසන එක දෙකක් ඉතිරි කොට සෙස්සන් හිඳිය යුතුය. ආසන පනවා ඇත්තේ පැමිණෙන භික්ෂූන්ගේ ගණනට ම නම් මහාස්ථවිරයන් වහන්සේ අවසන් දුන් කල්හි සමීප ආසනයේ හිඳිය යුතුය. ඉදින් මහාස්ථවිර තෙමේ හිඳින්නය යි නොකියා නම් “ස්වාමීනි” මේ අසුන අපට උසය” යි කිය යුතුය. එසේ කී කල්හි මහා ස්ථවිර හිඳින්නය යි නො කියා නම් බාල භික්ෂුවට ඇවැත් නො වේ. මහාස්ථවිරයන්ට ඇවැත් වේ. වැඩිමහලු පිළිවෙළින් වාඩිවීමේ දී නවක භික්ෂූන්ට ඉඩ නැතිවිය හැකි පරිදි පමණට වඩා ඉඩ ගෙන නො හිඳිය යුතුය. වාඩිවීමේදී පසුව එන භික්ෂූන් ගැන ද සලකා හිඳිය යුතුය. සංඝාටිය යට නො කොට හිඳීම මෙකල සිවුරු පොරෝනා සැටියට නම් පහසු නැත. එය ගැන කල්පනා කළ යුතුය.

“න භික්ඛවෙ සංඝාටිපල්ලත්ථිකාය නිසීදිතබ්බං, යො නිසීදෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[178]

සංඝාටිපල්ලත්ථිකයෙන් නො හිඳිය යුතුය, යමෙක් හිඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

රහෝනිසජ්ජ සික්ඛා පදය.

“යො පන භික්ඛු මාතුගාමෙන සද්ධිං රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙය්‍ය පාචිත්තියං.”[179]

යම් මහණෙක් මාගමක සමඟ දකින අසන කෙනකු නැති වැසුණු තැනක හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වේ.

මෙහි මාගම යයි කියනුයේ මනුෂ්‍යස්ත්‍රියය. වැසුණු තැනය යි කියනුයේ බිත්තිවලින් හෝ තාප්පයකින් හෝ තිරයකින් හෝ ගස්වැල් ආදි අනිකකින් හෝ වැසී ඇති තැනය. පෙනෙන ප්‍ර‍මාණයේ, කටහඬ ඇසෙන ප්‍ර‍මාණයේ අන් පුරුෂයකු නැති එබඳු තැනක මාගමක හිඳිනා කල්හි භික්ෂුව ගොස් හිඳියේ හෝ නිදියේ හෝ වේ නම් පචිති ඇවැත් වේ. භික්ෂුව හෝ හිඳිනා කල්හි මාගම අවුත් හිඳියේ හෝ නිදියේ හෝ වේ නම් භික්ෂුවට පචිති ඇවැත් වේ. දෙදෙනා ම එකවර හිඳියේ හෝ නිදියේ හෝ වේ නම් භික්ෂුවට පචිති ඇවැත් වේ. භික්ෂුව හා මාගම හිඳින්නේ කාමරයක නම් එහි ඇස් පෙනෙන අන් පුරුෂයෙක් සිටියේ නම් ඇවැත් නො වේ. ස්ත්‍රීන්ගේ සිටීම ඇවැත් නො වීමට කරුණක් නොවේ. ගෙයක් නො වී ආවරණය ඇති තැනක නම් භික්ෂුවට හා මාගමට දොළොස් රියනකට සමීපයෙන් පුරුෂයකු සිටියේ නම් ඇවැත් නො වේ. භික්ෂුව හෝ මාගම සිටගෙන සිටියේ නම් ඇවැත් නො වේ. රහස් තැනක සිටීමේ අපේක්ෂාවෙන් තොරව විසුයේ ද ඇවැත් නො වේ.

“යො පන භික්ඛු මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙය්‍ය පාචිත්තියං.”[180]

යම් මහණෙක් එකලා වූයේ එකලා වූ මාගමක් සමඟ රහස් තැනක හිඳීම කෙරේ නම් පචිති වේ. හිඳීම පිළිබඳ සේඛියා සිකපද ශාසනාවතරණයේ[181] විස්තර කර ඇත්තේය.

ගමන පිළිබඳ ශික්ෂාපද

“යො පන භික්ඛු සන්තං භික්ඛුං අනාපුච්ඡං විකාලෙ ගාමං පවිසෙය්‍ය අඤ්ඤත්‍ර‍ තථාරූපා අච්චායිකා කරණීයා පාචිත්තියං.”[182]

යම් මහණෙක් හදිසි කටයුත්තක් නැතිව, ඇත්තා වූ භික්ෂුවකගෙන් නො විචාරා විකාලයෙහි ගමට පිවිසෙන්නේ නම් පචිති ඇවැත් වේ.

මෙහි ගම යයි කියනුයේ භික්ෂූන් වෙසෙන ආරාම හා අරණ්‍ය හැර මිනිසුන් ගැවසෙන වාසය කරන නගර හා ගම් ය. ඇත්තා වූ භික්ෂුවය කියනුයේ තමා ඉදිරියේ හෝ දෙපැත්තේ හෝ ප්‍ර‍කෘති කථාව ඇසෙන දුර ප්‍ර‍මාණයේ සිටින භික්ෂුවය. විකාලයේ ගමට යන කල්හි සමීපයේ සිටින භික්ෂුවකට “විකාලෙ ගාමප්පවෙසනං ආපුච්ඡාමි” කියා හෝ “විකාලෙ ගාමං පවිසිස්සාමි” කියා හෝ තමා විකාලයේ ගමට යන බව දැන්විය යුතු ය. සමීපයේ භික්ෂුවක් නැති නම් භික්ෂුවක් සොයා ගොස් ආරෝචනය නො කළාට වරද නැත. ඉදින් සමීපයේ භික්ෂුවක් ඇති කල්හි ආරෝචනය නො කොට යන්නේ නම් ඒ භික්ෂුවට ප්‍රාකාරාදියෙන් ආවරණය කර ඇති ගමක ඒ පරික්ෂේපය ඉක්මවීම සඳහා තබන පළමු පියවරේදී දුකුළා ඇවැත් වේ. දෙවන පියවර තැබීමේදී පචිති ඇවැත් වේ. පරික්ෂේපයක් නැති ගමෙහි ගාමූපචාරය ඉක්මවනු පිණිස තබන පළමුවන පියවරේදී දුකුළා ඇවැත් ද දෙවන පියවරේදී පචිති ඇවැත් ද වේ. යටත් පිරිසෙයින් එක් ගෙයක් හෝ ඇති නම් එතැන ගමය. ගෙයි පියැස්සෙන් වතර වැටෙන තැන සිට මෝල්ගසක් හෝ කුල්ලක් වීසි කළ විට වැටෙන දුර ප්‍ර‍මාණය ඝරූපචාර නම් වේ. ඝරූපචාරයේ සිට මධ්‍යම බල ඇති පුරුෂයකු ගසන ගල වැටෙන ප්‍ර‍මාණය ගාමූපචාර නමි. නගරග්‍රාමවල පිහිටි ආරාම භූමිවලින් පිට පැත්ත ම ගමය. ඒවායේ සිට ගමට පිවිසෙන භික්ෂූන්ට ආරාමභූමියෙන් පිටවීම ම ගමට පිවිසීම වේ. පිරිත් කීම් ආදි කටයුත්තක් සඳහා බොහෝ භික්ෂූන් එකවර ගමට යන අවස්ථාවලදී ඒ භික්ෂූන්ට ඔවුනොවුන්ට ආරෝචනය කොට ගිය හැකිය. ගමකට ගොස් ගිය කාර්‍ය්‍යය නිමවා ආපසු එන කල්හි නැවතත් ගමට යන්නට වුවමනා වී නම් ළඟ සිටින භික්ෂුවකට ආරෝචනය කොට යා යුතු ය. කාලයේ දී ගමට පිවිස ගෙයක දන් වළඳා එන භික්ෂුවට විකාලයේ අන් තැනකට යන්නට වුවමනා වී නම් සමීපයේ සිටින භික්ෂුවකගෙන් විචාරා යා යුතු ය. නො විචාරා ගිය හොත් ඇවැත් වේ. හදිසි කරුණු නම් සර්පයකු දෂ්ට කිරීම, රෝගියකුට අමාරුවීම, හදිසි රෝගයක් හට ගැනීම යනාදිය ය. හදිසි අවස්ථාවේ නො චිචාරා යාමෙන් ඇවැත් නො වේ. ගම තුළ වූ ආරාමයකට යන කල්හි ද ගමක් පසුකොට යා යුතු ආරාමයකට යන කල්හි ද නො විචාරා ගමට පිවිසීමෙන් ඇවැත් නො වේ.

සංවිධාන ශික්ෂාපදය.

“යො පන භික්ඛු මාතුගාමෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජෙය්‍ය අන්තමසො ගාමන්තරම්පි පාචිත්තියං.”[183]

යම් මහණෙක් මාගමක හා කථා කර ගෙන එක් මඟක යන්නේ වේ නම් යටත් පිරිසෙයින් අන් ගමකට වුව ද යන්නේ නම් පචිති වේ.

යම් මහණෙක් අසවල් උත්සවය බලන්නට යමුය, අසවල් විහාරය අසවල් චෛත්‍යය වඳින්නට යමුය, වට වන්දනාවේ යමුය, දඹදිව යමුය යනාදීන් මාගමක හා කථා කරගෙන යන්නේ නම් ඇතුළු වන ගමක් පාසා ම ඒ මහණහුට පචිති වේ. මාර්ගයෙහි ගම් නැත්තේ නම් අඩ යොදුනෙන් අඩ යොදුනට පචිති ඇවැත් වේ. යාමට කථා කිරීමේදී දුකුළා ඇවැත් වේ. කථා කර ගත් ආකාරය වැරදී ගිය හොත් ඇවැත් නො වේ. යුද්ධාදියෙන් රට අවුල් වී මහජනයා පලායන කල්හි ද භික්ෂුවගේ සංවිධානයක් නැතිව මාගමගේ ම සංවිධානයෙන් ද යාමෙන් ඇවැත් නො වේ.

සේනා පිළිබඳ සිකපද.

“යො පන භික්ඛු උය්‍යුත්තං සෙනං දස්සනාය ගච්ඡෙය්‍ය අඤ්ඤත්‍ර‍ තථාරූපප්පච්චයා පාචිත්තියං.”[184]

යම් මහණෙක් යුද පිණිස නික්මුණු සේනාව සුදුසු කරුණක් නො මැතිව බැලීමට යේ නම් පචිති වේ.

“සියා ච තස්ස භික්ඛුනො සෙනං ගමනාය කොචිදෙව පච්චයො දිරත්තතිරත්තං තෙන භික්ඛුනා සෙනාය වසිතබ්බං, තතො චෙ උත්තරිං වසෙය්‍ය පාචිත්තියං.”[185]

භික්ෂුවට සේනාවට යනු පිණිස යම්කිසි කරුණක් ඇත්තේ නම් දෙතුන් රැයක් ඒ භික්ෂුව විසින් සේනාවෙහි විසිය යුතුය. එයට වඩා විසුයේ නම් පචිති වේ.

“දිරත්තතිරත්තං චෙ භික්ඛු සෙනාය වසමානො උය්‍යොධිකං වා බලග්ගං වා සෙනාඛ්‍යුහං වා අණීකදස්සනං වා ගච්ඡෙය්‍ය පාචිත්තියං.”[186]

දෙතුන් රැයක් සේනාවෙහි වෙසෙන මහණ තෙමේ ඉදින් යුද කරන තැන හෝ සේනා ගණන් ගන්නා තැන හෝ සේනා රැස්වන තැන හෝ බලඇණි හෝ දක්නට යන්නේ නම් පචිති වේ.

නැටුම් ආදිය බැලීමට යාම.

“න භික්ඛවෙ නච්චං වා ගීතං වා වාදිතං වා දස්සනාය ගන්තබ්බං, යො ගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[187]

මහණෙනි, නැටුම් හෝ ගැයුම් හෝ වැයුම් හෝ දැකීමට නොයා යුතුය. යමෙක් යේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

නළුවන්ගේ නැටුම් පමණක් නොව නයි රිළා මොනර ආදි සතුන්ගේ නැටුම් ද, වෙරිකායන්ගේ පිස්සන්ගේ නැටුම් ද නැටුම්වලට අයත් ය. එබැවින් රිලා නැටුමක් වුව ද බැලීමට යන භික්ෂුවට දුකුළා ඇවැත් වේ. තමා නටන්නාවූ ද නටවන්නාවූ ද භික්ෂුවට දුකුළා ඇවැත් වේ. නළුවන් ගයන ගී පමණක් නොව සාධුගීත නම් වූ තෙරුවන් ගුණ පිළිබඳ ගී ා අනිත්‍යාදිය පිළිබඳ ගී වුව ද ගැයුම ද, ගායනය කරවීම ද, ගයනු අසන්නට යාම ද යන මේ සියල්ලෙන් දුකුළා ඇවැත්වේ. ටින් එකකට ලෑල්ලකට තට්ටු කිරීමේ පටන් සියලු ම වැයුම් කිරීමෙන් ද කරවීමෙන් ද අසන්නට යාමෙන් ද දුකුළා ඇවැත් වේ.

නෘත්‍යාදිය ආරාමය තුළදී දැකීමෙන් ඇවැත් නො වේ. බලනු සඳහා අන් අරමකට යේ නම් ඇවැත් වේ. ආසන ශාලාවෙක්හි වාඩිවී සිටීමේදී දැකීමෙන් ඇවැත් නොවේ. බලනු කැමැත්තෙන් නැඟිට ගියේ නම් ඇවැත් වේ. මඟ යන කල්හි දුට ද ඇවැත් නො වේ. හිස හරවා බැලුයේ නම් ඇවැත් වේ. යම්කිසි ආපදාවක් නිසා සභාවකට පිවිසීමෙන් දුටුයේ ද ඇවැත් නො වේ. විහාරයට චෛත්‍යයට ගී නැටුම් වලින් පූජාවක් කරන්නය යි කීමට ද, ඔබ වහන්සේලාගේ චෛත්‍යයට ගීනැටුම්වලින් පූජාවක් කරමියි කියන කල්හි පිළිගන්නට ද භික්ෂුවට නො වටී. ඔබ වහන්සේලාගේ චෛත්‍යයට විහාරයට පූජාවක් කරමියි කී කල්හි පූජාවක් කිරීම නම් හොඳ වැඩෙකැයි කියන්නට වටී.

යොජාපෙතුං ච යොජෙතුං - පයුත්තානි ච පස්සිතුං,

න ලබ්භං ධම්මයුත්තම්පි - නච්චං ගීතඤ්ච වාදිතං,

උපහාරං කරොමාති - වුත්තෙ වා සම්පටිච්ඡිං.[188]

රාජාගාර ශික්ෂාපදය.

“යා පන භික්ඛුනී රාජාගාරං වා චිත්තාගාරං වා ආරාමං වා උය්‍යානං වා පොක්ඛරණිං වා දස්සනාය ගච්ඡෙය්‍ය පාචිත්තියං.”[189]

යම් මෙහෙණක් රජුන් ක්‍රීඩා කරන ගෙයක් හෝ මිනිසුන්ට ක්‍රීඩා කිරීම පිණිස කළ චිත්‍ර‍වලින් යුක්ත ගෙයක් හෝ ආරාමයක් හෝ උයනක් හෝ පොකුණක් හෝ බැලීම පිණිස යේ නම් පචිති වේ. මෙහි ආරාමය යි කියනුයේ මිනිසුන් ක්‍රීඩා කරන නගරවල පිහිටි උයන් ය. උයනය යි කියනුයේ නගරයෙන් පිටත පිහිටි එබඳු උයන්ය. පොකුණය යි කියනුයේ මහජනයාට ජල ක්‍රීඩාව සඳහා කළ පොකුණ ය. මේ භික්ෂුණී විභංගයේ ශික්ෂාපදයෙකි. රාජාගාරාදිය දර්ශනය සඳහා යාමෙන් භික්ෂූන්ට දුකුළා ඇවැත් වේ. ඒ බව විනය විනිශ්චයෙහි “භික්ඛුස්ස පන සබ්බත්ථ හොති ආපත්ති දුක්කටං” යනුවෙන් දක්වා ඇත. විනෝදය පිණිස බලන්නට යාමෙන් ඇවැත් වේ. විශේෂ කාරණයක් සඳහා බැලීමෙන් ද ආරාමයෙහි ම කළ එබඳු ගෙයක් බැලීමෙන් ද විපතකදී එවැනි තැනකට ඇතුළුවීමෙන් ද ඇවැත් නොවේ.

“න භික්ඛවෙ අකායබන්ධනෙන ගාමො පවිසිතබ්බො, යො පවිසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[190]

මහණෙනි, පටිය නො බැඳ ගමට නො පිවිසිය යුතුය. යමෙක් පිවිසෙන්නේ නම් දුකුළා ඇවැත් වේ. පටිය බැඳීම අමතක වී නික්ම ගිය කල්හි සිහි වූ තැනකදී බැඳිය යුතු ය. පටිය නැති නම් විහාරයට ආපසු පැමිණ බැඳ යා යුතුය. ගමන පිළිබඳ සේඛියා සික්ඛාපද ශාසනාවතරණයෙන්[191] දත යුතු ය.

කථා කිරීම පිළිබඳ ශික්ෂාපද.

මුසාවාද සික්ඛාපදය.

“සම්පජාන මුසාවාදෙ පාචිත්තියං.[192]

දැන දැන බොරු කිව පචිති ඇවැත් වේ.

දුටු දෙය නුදුටුවෙමි යි ද, නුදුටු දෙය දුටුවෙමියි ද, ඇසූ දෙය නො ඇසුවෙමි යි ද, නො ඇසූ දෙය ඇසුවෙමි යි ද, සිතූ දෙය නො සිතුවෙමි යි ද, නො සිතූ දෙය සිතුවෙමි යි ද, දත් දෙය නො දනිමි යි ද, නො දත් දෙය දනිමි යි ද, වූ දෙය නො වූයේ යි ද, නො වූ දෙය වූයේ ය යි ද, ඇති දෙය නැතය යි ද, නැති දෙය ඇතය යි ද, කළ දෙය නො කෙළෙමි යි ද, නො කළ දෙය කෙළෙමි යි ද, කරන දෙය නො කරමියි ද, නො කරන දෙය කරමි යි ද, දුන් දෙය නුදුන්නේ ය යි ද, නො දුන් දෙය දුන්නේ ය යි ද, අනුන් රැවටීම පිණිස කීම සම්පජාන මුසාවාද නම් වේ. හොඳට ම දුප්පතකු එන විට “අර එන්නේ මුදලාලි කෙනෙක, මෝඩයකු එන විට “අර එන්නේ මහ පඬිවරයෙක, යනාදීන් විනෝදය පිණිස වුව ද මුසාවක් කිව පචිති ඇවැත් වේ.

රැවටීමේ අදහස නැතියකුට ඉක්මන් වීමෙන් බොරුවක් කියවුණ ද වැරදීමෙන් බොරුවක් කියවුණ ද කථාවේ අදක්ෂතාව නිසා බොරුවක් කියවුණ ද ඇවැත් නො වේ. රැවටීමේ අදහසින් මුවින් බොරුවක් කිව ද අත් පා ආදියෙන් ඇඟවුව ද ලිවීමෙන් ඇඟවුව ද පචිති ඇවැත් වේ.

ඕමසවාද සික්ඛාපදය.

“ඕමසවාදෙ පාචිත්තියං.”[193]

අසන්නහුගේ සිතෙහි හැණෙන වචන කීමෙන් පචිති වේ.

උපසම්පන්නයෙක් උපසම්පන්නයකුට රිදවීම පිණිස ජාතිය නාමය ගෝත්‍ර‍ය කර්මය ශිල්පය ආබාධය ලිංගය ක්ලේශය ආපත්තිය ආක්‍රෝශය යන දශාක්‍රෝශ වස්තූන් ගෙන ආක්‍රෝශ කෙරේ නම් පචිති වේ. මේ සිකපදයෙන් පාචිත්ති දුක්කට දුබ්භාසිත යන ඇවැත් තුන ම වේ.

හීනජාති උත්කෘෂ්ටජාති වශයෙන් ජාති දෙවර්ගයකි. චණ්ඩාල වේණ නේසාද රථකාර පුක්කුස යන මේවා හීනජාතිය යිද, ක්ෂත්‍රිය බ්‍රාහ්ම ජාති උත්කෘෂ්ට ජාතිය යි ද විනය පාළියෙහි දක්වා ඇත්තේ ය. චණ්ඩාලාදි හීනජාති ඇති උපසම්පන්නයකුට රිදවීමේ අදහසින් චණ්ඩාලයෙක වැද්දෙක කෙවුලෙක යනාදීන් කියා නම් වචනයක් පාසා පචිති වේ. ක්ෂත්‍රියාදි උසස් ජාති ඇති උපසම්පන්නයකුට නුඹ චණ්ඩාලයෙක යනාදීන් කියා නම් වචනයක් පාසා පචිති ඇවැත් වේ. ක්ෂත්‍රියයකුට චණ්ඩාලයෙකැයි කීම බොරුවක් වුව ද රැවටීමේ අදහසින් තොරව රිදවීමේ අදහසින් කීමෙහි දී ඕමසවාද ශික්ෂාපදයෙන් මිස මුසාවාද ශික්ෂාපදයෙන් ඇවැත් නො වේ. හීනජාති ඇති උපසම්පන්නයකුට රිදවනු කමැත්තෙන් ඔබ ක්ෂත්‍රියෙක බ්‍රාහ්මණයෙකැයි කියා නම් එයින් ද පචිති වේ. උසස් ජාති ඇති උපසම්පන්නයකුට රිදවනු කැමැත්තෙන් ඔබ ක්ෂත්‍රියයෙකු බ්‍රාහ්මණයෙකැයි කියා නම් එයින් ද පචිති වේ.

උපසම්පන්නයකුට රිදවනු පිණිස කෙළින් ම චණ්ඩාලයෙක යනාදීන් නො කියා මෙහි චණ්ඩාලයෝත් ඇත යනාදීන් අනියමින් කීමෙන් දුකුළා ඇවැත් වේ. උපසම්පන්නයකුට රිදවනු පිණිස අනියමින් මේ මේ දේ කරන අය චණ්ඩාලයෝ නොවෙත් ද යනාදීන් කීමෙන් ද දුකුළා ඇවැත් වේ. උපසම්පන්නයකුට රිදවනු පිණිස අපි චණ්ඩාලයෝ නො වෙමුය, වැද්දෝ නො වෙමුය යනාදීන් කීමෙන් ද දුකුළා ඇවැත් වේ. අනුපසම්පන්නයන්ට ආක්‍රෝශ කිරීමෙන් ද දුකුළා ඇවැත් වේ. රිදවීමේ අදහසින් තොරව චණ්ඩාලාදි ජාති ඇති උපසම්පන්නයකුට පීඩා කිරීමේ අදහසින් චණ්ඩාලයෙක යනාදීන් කීමෙන් දුබ්භාසිතාපත්ති වේ. අනුපසම්පන්නයකුට කීමෙන් ද දුබ්භාසිතාපත්ති වේ. නාම ගොත්ත කම්ම සිප්ප ආබාධ ලිංග කිලේස ආපත්ති යන ආක්‍රෝශ වස්තූන් ගෙන ආක්‍රෝශ කිරීම කියන ලද ක්‍ර‍මය අනුව සලකා ගත යුතුය. විනය පාළියෙහි ඒ සියල්ල ද එකින් එක විස්තර කර ඇත්තේ ය. දීර්ඝවීමෙන් පොත මහත්වන බැවින් මෙහි ඒවා නො දක්වමු.

ආක්‍රෝශය ද හීනෝත්කෘෂ්ට වශයෙන් දෙයාකාර වේ. බල්ලා ගොනා මීහරකා ඌරා කොටියා පව්කාරයා යනාදියත්, යකාරාදි නො මනා අකුරු යොදා කථා කිරීමත් හීනාක්‍රෝශය ය. සීලවන්තයා, පණ්ඩිතයා, වීරයා, කථිකයා, පින්වන්තයා, වාසනාවන්තයා යනාදිය උත්කෘෂ්ටාක්‍රෝශය ය. යකාරාදිය යොදා ආක්‍රෝශ කිරීම යනු අනුන්ගේ තත්ත්වය පහත් කරනු සඳහා රයිගමයා, ගම්පොළයා, ජිනරතනයා, ගුණානන්දයා, ගුණසිරියා, ආනන්දයා, රාහුලයා යනාදීන් කථා කිරීම ය. පෙර කළ පව්කම් නිසා නුඹ දැන් චණ්ඩාලයකු වී ඇත. පව්කම් කළ හොත් මතු ද එසේ ම විය හැකි ය - යනාදීන් අනුශාසනයක් වශයෙන් කීමෙන් ඇවැත් නො වේ. වරද කළ අයට අනුශාසනා කිරීමේදී සිත වහා පෙරළෙන බැවින් අතර අතඅර කෝපය ඇති වී චණ්ඩාලයෙක යනාදීන් කිව ද ඇවැත් නො වේ.

පේසුඤ්ඤසික්ඛාපදය.

“භික්ඛු පෙසුඤ්ඤෙ පාචිත්තියං.”[194]

භික්ෂූන්ට කේලාම් කීමෙන් පචිති වේ.

කේලාම් කීමය යනු තමා ප්‍රිය පුද්ගලයකු වීමේ අදහසින් හෝ දෙදෙනකු භේද කිරීමේ අදහසින් හෝ එකකු කී දෙයක් අනිකකුට කීමය. එය ඕමසවාද සිකපද විස්තරයේ දැක්වූ ජාතිනාමාදි දශාකාරයෙන් සිදු වේ. අසවල් භික්ෂුව ඔබ වහන්සේ චණ්ඩාලයෙකැයි කීය යි කීම ජාති වශයෙන් කේලාම් කීමය. අසවල් භික්ෂුව ඔබ වහන්සේට නො මනා - කැත නම් කියන්නේය යි කීම නාම වශයෙන් කේලාම් කීමය. අසවල් භික්ෂුව “ඔබ වහන්සේ අසවල් ගෝත්‍රයේය යි කියන්නේය යි කීම ගෝත්‍ර‍ වශයෙන් කේලාම් කීමය. එක් භික්ෂුවකට අන්‍ය භික්ෂුවක් ජාත්‍යාදියෙන් ගටා කී නො මනා බසක් අසා එය තමා ප්‍රියයකු වීමේ අදහසින් හෝ ඒ භික්ෂූන් දෙදෙන භේද කිරීමේ අදහසින් හෝ ඒ භික්ෂුවට කීයේ නම් පචිති ඇවැත් වේ. භික්ෂුවක් අනියමින් කී දෙයක් අසා අසවල් භික්ෂුව මෙහි චණ්ඩාලයකු අතැයි කීයේ ය. ඒ කීයේ ඔබ වහන්සේට යනු ඇතැයි කීමෙන් දුකුළා ඇවැත් වේ.

භික්ෂුවක් භික්ෂුවක් ගැන භික්ෂුවක් විසින් කී දෙයක් ඒ භික්ෂුවට කේලාම් වශයෙන් කියන කල්හි වචනයක් පාසා පචිති ඇවැත් වේ.

උපසම්පන්නයකු උපසම්පන්නයකුගේ කීමක් අසා එය කේලාම් වශයෙන් අනුපසම්පන්නයකුට කියතහොත් වචනයක් පාසා දුකුළා ඇවැත් වේ.

උපසම්පන්නයකු අනුපසම්පන්නයකුගේ කීමක් අසා කේලාම් වශයෙන් උපසම්පන්නයකුට කීමෙහි ද වචනයක් පාසා දුකුළා ඇවැත් වේ.

උපසම්පන්නයෙක් අනුපසම්පන්නයකුගේ කීමක් කේලාම් වශයෙන් අනුපසම්පන්නයකුට කියා නම් වචනයක් පාසා දුකුළා ඇවැත් වේ.

තමා ප්‍රියයකු වීමේ අදහසින් තොරව අන්‍යයන් භේද කිරීමේ අදහසින් තොරව යම්කිසි කරුණක් නිසා එකකු කී දෙයක් අනිකකුට කීමෙන් ඇවැත් නො වේ.

දුට්ඨුල්ලාරෝචන සික්ඛාපදය.

“යො පන භික්ඛු භික්ඛුස්ස දුට්ඨුල්ලං ආපත්තිං අනුපසම්පන්නස්ස ආරොචෙය්‍ය අඤ්ඤත්‍ර‍ භික්ඛු සම්මුතියා පාචිත්තියං.”[195]

යම් මහණෙක් භික්ෂුවකගේ දුට්ඨුල්ලාපත්තියක් භික්ෂු සම්මුතියක් නැතිව අනුපසම්පන්නයකුට ආරෝචනය කෙරේ නම් පචිති ඇවැත් වේ.

දුට්ඨුල්ලාපත්ති යනු පාරාජිකා සංඝාදිසේස යන ඇවැත් දෙකොටසට ම නමෙකි. මේ ඇවත පනවා ඇත්තේ සංඝාදිසේසාපත්ති ගැන පමණෙකි. උපසම්පන්නයකු අසවල් භික්ෂුව මෙනම් වරද කොට සංඝාදිසේසාපත්තියට පැමිණ ඇතැයි අනුපසම්පන්නයකුට කියුව හොත් පචිති ඇවැත් වේ. ඇවත නො කියා අසවල් භික්ෂුව මෙනම් දෙයක් කළේය යි කිව ඇවැත් නො වේ. වරද නො කියා අසවල් භික්ෂුව සංඝාදිසේසාපත්තියට පැමිණ ඇතැයි කිව ද ඇවැත් නො වේ. අසවල් භික්ෂුව ශුක්‍රමෝචනය කොට සංඝාදිසේසාපත්තියට පැමිණ ඇතැයි වස්තු ආපත්ති දෙක ම ගෙන අනුපසම්පන්නයකුට කියුව හොත් පචිති වේ.

භික්ඛු සම්මුතියෙන් දුට්ඨුල්ලාපත්තිය අනුපසම්පන්නයන්ට ආරෝචනය කිරීමට අනුදැනීම භික්ෂුවට නින්දා කිරීම පිණිස හෝ ශාසනයෙහි පිහිටක් නැති වී යාමට හෝ කරන ලද්දක් නොව නිතර ඇවතට පැමිණෙන භික්ෂූන් හික්මවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් නියම කරන ලද්දකි. අනුපසම්පන්නයන්ට ආපත්ති ආරෝචනය කිරීමේ සම්මුතිය දීමේ කර්මවාක්‍යයක් නො දක්නා ලැබේ. යම් භික්ෂුවක් නිතර ගරුකාපත්තියට පැමිණේ නම් ඒ භික්ෂුව ගිහියන්ට ඒ බව ආරෝචනය කිරීමෙන් ලජ්ජා වී මතු හික්මෙනු ඇතය යි සලකා ඒ භික්ෂුවගේ යහපත පිණිස තුන්වරක් ම අපලෝකනය කොට සංඝයාවිසින් කෙනකු සම්මත කළයුතු බව අටුවාවෙහි දක්වා ඇත. දුට්ඨුල්ලාපත්ති හැර ලහුකාපත්තින් අනුපසම්පන්නයන්ට කීමෙන් දුකුළා ඇවැත් වේ.

“යථා ඛො පනානන්ද එතරහි භික්ඛු අඤ්ඤමඤ්ඤං ආවුසො වාදෙන සමුදාචරන්ති, න ඛො මමච්චයෙන එවං සමුදාචරිතබ්බං. ථෙරෙන ආනන්ද භික්ඛුනා නවකතරො භික්ඛු නාමෙන වා ගොත්තෙන වා ආවුසොවාදෙන වා සමුදාචරිතබ්බො. නවකතරෙන භික්ඛුනා ථෙරොභික්ඛු භන්තෙති වා ආයස්මාති වා සමුදාචරිතබ්බො.”[196]

ආනන්දය, දැන් භික්ෂූහු ඔවුනොවුන්ට “ආවුසෝ” යන වචනයෙන් කථා කරන්නාහ. මාගේ ඇවෑමෙන් භික්ෂූන් එසේ කථා නො කළ යුතුය. ආනන්දය, ස්ථවිරභික්ෂුව විසින් නවකභික්ෂුවට නමින් හෝ ගෝත්‍රයෙන් හෝ “ආවුසෝ” යන වචනයෙන් හෝ කථා කළ යුතුය. නවක භික්ෂුව විසින් ස්ථවිර භික්ෂුවට “භන්තේ” යන වචනයෙන් හෝ “ආයස්මා” යන වචනයෙන් හෝ කථා කළ යුතුය.

මෙය තථාගතයන් වහන්සේ විසින් පිරිනිවන් පාන දිනයෙහි පිරිනිවන් මඤ්චකයේ සැතපී ආනන්ද ස්ථවිරයන් වහන්සේට වදාරන ලද්දකි. මෙය සිකපදයක් නො වතුදු සිකපදයක් සේ ම ගරු කළ යුතු කරුණෙකි. ආවුසෝ, ආයස්මා යන මේ වචන ප්‍රිය වචනය. භන්තේ යනු ගෞරවයෙන් ආමන්ත්‍ර‍ණය කිරීමේදී යෙදෙන වචනයෙකි. “ආවුසො” යනු ආමන්ත්‍ර‍ණය කිරීම පිණිස නඟන හඬෙකි. එහි අර්ථයක් නැත. එබඳු අර්ථ විරහිත වචන අන්බසකට නො නැඟිය හැකිය. එහෙත් ඒ වචනයට ඇවත කියා ද ඇවැත්නි කියා ද සිංහලෙන් අර්ථ දෙති. “භන්තේ” යනු භවන්ත ශබ්දයට ආදේශයක් වී ආලපනේකවචනයට සෑදෙන පදයකැ යි වියරණ පොත්වල දක්වා තිබේ. “භවන්ත” යන වචනයෙන් ජීවත්වන්නාය දියුණු වන්නාය යන අර්ථ දෙක කියැවේ. “භන්තේ” යන වචනයට ස්වාමීනි කියා ද වහන්ස කියා ද ස්වාමීන්වහන්ස කියා ද අර්ථ දෙති. ආයස්මා යනු තද්ධිත පදයෙකි. “ආයුඅස්ස අත්ථිති - ආයස්මා” යි විග්‍ර‍හ කෙරෙති. එහි අර්ථය ජීවත් වන තැනැත්තාය යනුයි. ආයස්මා යන වචනයට ආයුෂ්මත්ති කියා ද ආයුෂ්මත් කියා ද අර්ථ කියති. මෙකල නවකයන්ට “ආයුෂ්මතුන්” යි මහල්ලෝ කියති. ආවුසෝ යන්න වෙනුවට ආයුෂ්මතා ආයුෂ්මතුන් යන ව්‍යවහාර ද වරද නැති බව කිය යුතු ය.

ධර්මදේශනාව

භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සස්න පිහිටවන ලද්දේ ධර්මදේශනයෙනි. සර්වඥශාසනයේ චිරස්ථිතියට ඇති ප්‍ර‍ධාන හේතුව ධර්මදේශනාව ය.

“ගිහීනමුපකරොන්තානං - නිච්මාමිසදානතො,

කරොථ ධම්මදානෙන - තෙසං පච්චුපකාරකං.”[197]

යනුවෙන් “නිත්‍යයෙන් ආමිෂදානයෙන් පැවිද්දන්ට උපකාර කරන්නා වූ ගිහියන්ට ධර්මදානයෙන් ප්‍ර‍ත්‍යුපකාර කරව්ය” යි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට වදාරා ඇත්තේය. එබැවින් සියලු භික්ෂූන් විසින් ම යටත් පිරිසෙයින් ධර්මදේශනා සතරක් පසක්වත් කිරීමේ ශක්තිය ඇතා කඑ ගත යුතුය. නො මනා පරිදි දහම් දෙසීමෙන් දේශකයාටත් ලෝකයාටත් අනර්ථය සිදුවන්නේය. දහම් දෙසීම ධර්මයට විනයට අනුව ම කළ යුතුය. ධර්මදේශනාව සම්බන්ධයෙන් දේශිත බොහෝ සූත්‍ර‍ ධර්ම ඇත්තේ ය. ඉන් එක් සූත්‍ර‍යක් මෙසේ ය.

“න ඛො ආනන්ද, සුකරං පරෙසං ධම්මං දෙසෙතුං, පරෙසං ආනන්ද ධම්මං දෙසෙන්තෙන පඤ්චධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො. කතමෙ පඤ්ච?

ආනුපුබ්බිකථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෛතබ්බො,

පරියායදස්සාවිකථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො,

අනුද්දයතං පටිච්ච කථං කථෙස්සාමීති පරෙස්සං ධම්මො දෙසෙතබ්බො.

අත්තානඤ්ච පරඤ්ච අනුපහච්චකථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො,

න ඛො ආනන්ද සුකරං පරෙසං ධම්මං දෙසෙතුං. පරෙසං ආනන්ද ධම්මං දෙසෙන්තෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො.”[198]

තේරුම:

ආනන්දය, අනුන්ට දහම් දෙසීම පහසු නොවේ. ආනන්දය, පහරට දහම් දෙසන්නහු විසින් කරුණු පසක් තමා තුළ පිහිටවා ගෙන දහම් දෙසිය යුතුය. කවර කරුණු පසක් ද යත්?

අවුලෙන් තොර පිළිවෙළක් ඇති කථාවක් කරමියි පරහට දහම් දෙසිය යුතුය, ඒ ඒ අර්ථයට සුදුසු පරිදි කරුණු දක්වන කථාවක් කරමියි පරහට දහම් දෙසිය යුතුය. දුකට පත් සත්ත්වයන් දුකින් මුදවමියි යන අනුකම්පාවෙන් කථාවක් කරමියි පරහට දහම් දෙසිය යුතුය. තමාට ආමිෂයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් තොර කථාවක් කරමියි පරහට දහම් දෙසිය යුතුය. තමාත් අන්‍යයාත් ගුණ නැසීම් වශයෙන් නො නසන කථාවක් කෙරෙමියි පරහට දහම් දෙසිය යුතුය. ආනන්දය, අනුන්හට දහම් දෙසීම පහසු නැත. ආනන්දය අන්හට දහම් දෙන්නහු විසින් මේ කරුණු පස තමා කෙරෙහි පිහිටවා අනුන්ට දහම් දෙසිය යුතුය.

මේ කරුණු පස තමා කෙරෙහි නො පිහිටවා දහම් දෙසන භික්ෂුවගේ ධර්මදේශනාව ශුද්ධ නැත. අශුද්ධ ධර්මදේශනාවෙන් වන්නේ දේශකයාටත් අසන්නාටත් අවැඩකි.

දහම් දෙසීම පිළිබඳ සිකපද.

“න භික්ඛවෙ ආයතකෙන ගීතස්සරෙන ධම්මො ගායිතබ්බො, යො ගායෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[199]

මහණෙනි, දික් වූ ගීතස්වරයෙන් ධර්මය ගායනය නො කළ යුතු ය. යමෙක් ගායනා කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

ශාසනයෙහි සූත්‍ර‍ධර්ම කීමේ ක්‍ර‍මයක් ද, ජාතක කථා කීමේ ක්‍ර‍මයක් ද, ගාථා කීමේ ක්‍ර‍මයක් ද ඇත්තේ ය. ඒවා විනය අටුවාවෙහි “වත්” යන නමින් දක්වා ඇත. ඒ වත් බිඳ වචනය නැසෙන ලෙස අකුර නැසෙන ලෙස පමණට වඩා දික් කොට කීමෙන් ඇවැත් වේ. පමණට වඩා දික් කොට කියන කල්හි සමහර විට වචනය මැදින් කැඩී තේරුම් ගත නො හැකි වෙයි. එය වචනය නැසීම ය. පමණට වඩා දික් කොට කියන කල්හි අකුර ද වීණාශබ්දාදියක් මෙන් වී තේරුම් ගත නො හැකි තත්ත්වයට පැමිණේ. එය අකුර විනාශ වීම ය. මේ සිකපදය පැන වූ පසු භික්ෂූන්ට හඬ නඟා ධර්මය කීමෙන් ද ඇවැත් වේ දෝයි සැක ඇති විය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි “අනුජානාමි භික්ඛවෙ සරභඤ්ඤං.”[200] යනුවෙන් සරභඤ්ඤය අනුදැන වදාළ සේක.

තරංගවත තරංගභේදවත ගලිතවත යනාදි සරභඤ්ඤයේ ක්‍ර‍ම දෙතිසක් ඇතය යි අටුවාවෙහි කියා තිබේ. ඒවා ගැන විස්තරයක් අටුවා ටීකාවල දක්නට නැත. කියන ලදනම් තුන හැර ඉතිරි වත්වල නම් පවා අටුවාටීකාවල සඳහන් වී නැත. දැනට ඒවා දන්නා කෙනකු ඇති බව ද අසන්නට නැත. “තරංගවත්තාදීනං උච්චාරණවිධානානි නට්ඨප්පයොගානී”[201] යන සාරත්ථදීපනි ටීකා පාඨයෙන් පෙනෙන්නේ ටීකා ලියන කාලයේදී ද ඒවා දත් අය නො විසූ බව ය.

“න භික්ඛවෙ සංඝමජ්ධෙ අනජ්ඣිට්ඨෙන ධම්මො භාසිතබ්බො. යො භාසෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ථෙරෙන භික්ඛුනා සාමං වා ධම්මං භාසිතුං පරං වා අජ්ඣෙසිතුං.”[202]

මහණෙනි, සඟ මැද ආරාධනා නො කන ලද්දාහු විසින් දහම් නො දෙසිය යුතු ය. යමෙක් දෙසුයේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, ස්ථවිර භික්ෂුව විසින් තමා ම දහම් දෙසීමට හෝ අනිකකුට ආරාධනා කිරීමට හෝ අනුදනිමි.

ධර්මදේශනාවට ආරාධනා කිරීම වනාහි සංඝයා විසින් ආරාධනා කිරීමට සම්මත කරන ලද භික්ෂුවට හා සංඝස්ථවිරයන් වහන්සේට ද අයත් ය. සෙස්සන් විසින් තම තමන්ගේ අදහස් අනුව සඟමැද දහම් දෙසීමට ආරාධනා නො කළ යුතු ය. ධර්මදේශනයට ආරාධනා කරන්නකු නැති කල්හි සංඝස්ථවිරයන් වහන්සේගෙන් විචාරා හෝ උන් වහන්සේගේ ඉල්ලීමෙන් හෝ දහම් දෙසිය හැකිය. ඉදින් විහාරයෙහි බොහෝ ධර්ම කථිකයන් ඇති නම් සංඝස්ථවිරයන් වහන්සේ විසින් වාර පිළිවෙළින් දහම් දෙසීමට ආරාධනා කළ යුතු ය. සංඝස්ථවිරයන් වහන්සේ ඔබ දහම් දෙසන්නය යි අනියමින් ආරාධනා කළ හොත් දේශක භික්ෂුවට කැමති පරිදි දහම් දෙසිය හැකිය. ඔබ පාළිය කියන්නය යි ආරාධනා කළ හොත් පාළිය පමණක් කිය යුතුය. අර්ථ කියන්නය යි ආරාධනා කළ හොත් පාළියේ අර්ථය පමණක් කිය යුතු ය. සරභඤ්ඤයෙන් දහම් දෙසන්නය යි ආරාධනා කළ හොත් සරභඤ්ඤයෙන් පමණක් දහම් දෙසිය යුතුය. “සරභඤ්ඤ” යනු ශබ්ද නඟා හොඳින් කීම ය. ආරාධනා කිරීමේ දී සංඝස්ථවිරයන් විසින් දේශකයා හිඳින අසුනට උස් අසුනක හිඳ ආරාධනා නො කළ යුතුය. ඉදින් උපාධ්‍යාය වූ සංඝස්ථවිරයන් වහන්සේ විසින් උසසුනක හිඳ සද්ධිවිහාරිකයකුට දහම් දෙසන්නය යි කියුව හොත් සද්ධිවිහාරිකයා විසින් ධර්මය සජ්ඣායනා කරමියි ඉටා දහම් දෙසිය යුතු ය. පහත් අසුන්වල හිඳිනා නවක භික්ෂූන් ඇති නම් ඔවුන්ට දෙසමි යි දහම් දෙසිය යුතු ය. සංඝස්ථවිරයන් නැති අතර දහම් දෙසීම ආරම්භ කළ භික්ෂුව ධර්මය දේශනා කරමින් සිටින අතර සංඝස්ථවිරයන් පැමිණියේ ද නවත්වා අවසර ගැනීමක් නො කොට දිගට ම ධර්මදේශනාව කරගෙන යාමෙන් වරද නැත. නවතා සිටින අතර සංඝස්ථවිරයන් පැමිණියේ නම් පසුව දහම් දෙසීමේදී අවසර ගෙන කළ යුතුය. දානශාලාදියෙහි දහම් දෙසීම හා ආරාධනා කිරීම ද සංඝස්ථවිරයන්ට ම අයත් ය. දානශාලාදියෙහි ගිහියන් විසින් ඔවුන් කැමති භික්ෂුවකට දහම් දෙසීමට ආරාධනා කළ හොත් ඒ භික්ෂුව සංඝස්ථවිරයන් වහන්සේගෙන් අවසර ලබා දම් දෙසිය යුතු ය.

“අනුජානාමි භික්ඛවෙ භත්තග්ගෙ චතූහි පඤ්චහි ථෙරානුථෙරෙහි භික්ඛූහි ආගමෙතුං”[203] යි වදාරා ඇති බැවින් දානගෙයකදී සංඝස්ථවිරයන් වහන්සේ විසින් හෝ උන්වහන්සේගේ ආරාධනාව ලත් භික්ෂුවක් විසින් හෝ දහම් දෙසන කල්හි ධර්මදේශකයා තනි කර දමා සෙසු භික්ෂූන් නො යා යුතු ය. ධර්මදේශකයා සමග එනු පිණිස භික්ෂූන් සතරපස්නමක් එහි නැවතිය යුතුය. සංඝස්ථවිරයන් වහන්සේ දහම් දෙසත් නම් දෙවන ස්ථවිරයන්ගේ පටන් සතර නමක් එහි නැවතිය යුතු ය. දහම් දෙසීම දෙවනතෙරුන් විසින් කරත හොත් සංඝස්ථවිරයන් හා පහළින් තුන් නමක් නැවතිය යුතු ය. පස්වන ස්ථවිරයන් දහම් සෙත හොත් සංඝස්ථවිරයන්ගේ පටන් සතරනමක් නැවතිය යුතු ය. සංඝස්ථවිරයන් වහන්සේගේ ඉල්ලීමේන නවක භික්ෂුවක් දහම් දෙසන කල්හි ද සංඝස්ථවිරයන්ගේ පටන් සතර නමක් නැවතිය යුතු ය. ඉදින් ධර්ම දේශකයා “ස්වාමීනි, වැඩමවන්නය නො නැවතුනාට කම් නැත” යි කියා නම් යා හැකිය. ධර්මදේශකයාගේ අනුමැතිය ලබා ද යා හැකිය. නැවතුනු භික්ෂූන් අතරින් යම් කිසිවකුට යාමට හදිසි කරුණක් ඇති වී නම් සමීපයේ සිටින භික්ෂුවකට දන්වා යා හැකිය. ගිහියන් විසින් ඔවුන් කැමති භික්ෂුවක් ලවා දහම් දෙසීම කරවන කල්හි නො විචාරා යාමෙන් ද වරද නැත.

පදසොධම්ම සික්ඛාපදය.

“යො පන භික්ඛු අනුපසම්පන්නං පදසො ධම්මං වාචෙය්‍ය පාචිත්තියං.”1

යම් මහණෙක් අනුපසම්පන්නයකුහට ධර්මය පද වශයෙන් එකට කීම් වශයෙන් කියවා නම් පචිති වේ.

මෙහි “අනුපසම්පන්නය” යි කියනුයේ භික්ෂුව හා භික්ෂුණිය හැර සෙස්සන්ටය. පද වශයෙන් කියවීම යනු කොටස් වශයෙන් කියවීමය. පදය අනුපදය අන්වක්ඛරය අනුබ්‍යඤ්ජනය යි කියවන ධර්මය සතර කොටසක් කොට දක්වා ඇත්තේ ය. එහි “අන්වක්ඛර” යනු තනි අකුරය. “අනුබ්‍යඤ්ජන” යනු අකුරු සමූහයය. “පද” යනු ගාථා පාදයය. ගාථාවකට පාද සතරක් ඇත්තේ ය. එහි පළමුවන පාදය පද නම් වේ. දෙවන පාදය අනුපද නම් වේ. “මනොපුබ්බංගමා ධම්මා” යනාදීන් භික්ෂුව සාමණේරයාට කියවීමේදී සාමණේරයා භික්ෂුව සමඟ ම පටන් ගෙන භික්ෂුව සමඟ ම අවසන් කෙරේ නම් ගාථාවේ පාදයක් පාසා පචිති වේ. එක් ගාථාවක් එසේ කියවීමෙන් පචිති සතරක් වේ. මනොපුබ්බංගමා ධම්මා යනාදීන් භික්ෂුව කියවන කල්හි අනුපසම්පන්නයා ප්‍ර‍ථම පාදය එක්ව කියන්නට අසමත් වී දෙවන පාදයේ දී භික්ෂුවට එක් වී දෙවන පාදය භික්ෂුව හා එකවිට අවසන් කෙරේ නම් භික්ෂුවට අනපද ගණනට ඇවැත් වේ. භික්ෂුව අනුපසම්පන්නයාහට ධර්මකොට්ඨාශයේ මුල් අකුර පමණක් එකට කියා නම් එසේ කියවන අකුරු ගණනට ඇවැත් වේ. “රූපං භික්ඛවෙ අනිච්චං වෙදනා අනිච්චා” යනාදීන් භික්ෂුව කියවන කල්හි අනුපසම්පන්නයා ඉක්මන් වී භික්ෂුව “රූපං භික්ඛවෙ අනිච්චං” යි කියන කල්හි “වෙදනා අනිච්චා” යි කියමින් අනිච්ච යන පදය එකවර කියා අවසන් කෙරේ නම් භික්ෂුවට පචිති වේ. පාදාදියෙන් කුමක් හෝ අනුපසම්පන්නයා හා එකවර කීයේ නම් භික්ෂුවට ඇවැත් වේ.

එක්ව නො කියවිය යුතු ධර්මය බුද්ධභාසිතය සාවකභාසිතය ඉසිභාසිතය දෙවතාභාසිතය අත්ථූපසංහිතය ධම්මූපසංහිතය යි පාළියෙහි ආකාර සයකින් දක්වා තිබේ.

එහි “බුද්ධභාසිතය” යනු විනය පිටකය අභිධර්ම පිටකය ධම්මපදය චරියාපිටකය උදානය ඉතිවුත්තකය ජාතකය සුත්තනිපාතය විමානවත්ථුය පේතවත්ථුය බ්‍ර‍හ්මජාලාදි සූත්‍රයෝ යන මේවාය. “සාවකභාසිංතය” යනු සිවු පිරිසට අයත් බුද්ධශ්‍රාවකයන් විසින් ප්‍ර‍කාශිත අනංගණ සම්මාදිට්ඨි අනුමාන චූළවේදල්ල මහා වේදල්ලාදි සූත්‍ර‍ ධර්මයෝය. අනංගණ සම්මාදිට්ඨි මහාවේදල්ල යන සූත්‍රයෝ සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් වදාරන ලද්දෝ ය. අනුමාන සූත්‍ර‍ය මුගලන් තෙරුන් වහන්සේ විසින් වදාරන ලද්දකි. චූළ වේදල්ල සූත්‍ර‍ය ධම්මදින්නා තෙරණියගේ භාෂිතයෙකි. සූත්‍ර‍ නිපාතයෙහි එන පසේබුදුවරුන්ගේ ගාථා බුද්ධ භාසිතයට අයත් ය. ඉසිභාසිතය යනු ශාසනයෙන් බාහිර පිරිවැඩියන්ගේ ප්‍ර‍කාශනයෝ ය. මජ්ඣිමනිකායේ මජ්ඣිම පණ්ණාසකයේ පරිව්‍රාජකවර්ගය, සූත්‍ර‍නිපාතයේ එන බාවරීතවුසාගේ අතවැසියන්ගේ ප්‍ර‍ශ්න ගාථා යනාදිය සෘෂිභාෂිතයෝ ය. දේවභාෂිතය යනු දේවතා සංයුක්ත දෙවපුත්තසංයුත්ත මාරසංයුත්ත බ්‍ර‍හ්මසංයුත්ත යනාදියෙහි දැක්වෙන දේවභාෂිතයෝය. “අත්ථූපසංහිතය” යනු පෙර පාළිභාෂාවෙන් තුබූ සංගයනාවන්ට ඇතුළත් කළ අටුවාය. “ධම්මූපසංහිතය, යනු පිටකත්‍ර‍ය පාළියෙහි එන “මක්කටී වජ්ජිපුත්තාච” යනාදි සංගීති කාරකයන් විසින් තබන ලද ධර්මයෝය. කියන ලද සකොටසක් වන ධර්මය සංගීති තුනකට ම නඟා බුද්ධධර්මය වශයෙන් තබා ඇත්තේ ය. ඒවායින් කිනම් කොටසක් වුව ද අනුපසම්පන්නයන්හට එක්ව කියවීමෙන් ඇවැත් වේ. සංගීතියට නො ගත් බුද්ධ ධර්මය ද ඇත්තේ ය. ඒවා කියවීමෙන් ද ඇවැත් වේ. කුලුම්බසුත්ත රාජෝවාදසුත්ත තික්ඛින්ද්‍රිය චතුපරිවට්ට නන්දෝපනන්ද යන මේ ධර්ම, සංගායනා නො කළ ධර්මයන් ලෙස අටුවාවෙහි දක්වා ඇත. අන්‍ය භාෂාවන්ට හා ගාථාදියට නඟන ලද බුද්ධධර්මය කියැවීමෙන් ඇවැත් නො වේ. අනුපසම්පන්නයන් හා එකට සජ්ඣායනා කිරීමෙන් ඇවැත් නො වේ. පිරිත් කීමත් එකට සජ්ඣායනා කිරීමක් මිස උගැන්වීමක් නො වන බැවින් අනුපසම්පන්නයන් හා පිරිත් කීමෙන් ඇවැත් නො වේ.

ධම්මදේසනා සික්ඛාපදය.

“යො පන භික්ඛු මාතුගාමස්ස උත්තරිං ඡපඤ්චවාචාහි ධම්මං දෙසෙය්‍ය අඤ්ඤත්‍ර‍ විඤ්ඤුනා පුරිසවිග්ගහෙන පාචිත්තියං.”[204]

යම් මහණෙක් නුවණැති පුරුෂයකු සමීපයේ නැතිව මාගම කට පසකට සයකට අධික වචනවලින් පෙළදහම කියා නම් පචිති වේ.

මේ සිකපදයෙන් දැක්වෙන ධර්මය ද පදසෝධම්ම සිකපදයෙන් දැක්වෙන බුද්ධභාෂිතාදි සවැදෑරුම් ධර්මය ය. මාගමය යනු මනුෂ්‍ය ස්ත්‍රිය ය. විඤ්ඤූපුරුෂයකු සමීපයේ නැති කල්හි මාගමට සපදයක් ධර්ම දෙසිය හැකි ය. එය ඉක්මවා සත්වන පදයෙන් එක අකුරක් වුව ද කීමෙන් පචිති වේ. ගාථා කීමේදී පදය ගණන් ගන්නේ ගාථාපද අනුව ය. ගාථාපද සයක් කිය හැකිය. එය ඉක්මවා සත්වන ගාථා පාදයෙන් එක අකුරක් වුව ද කීමෙන් පචිති වේ. වාක්‍යවලදී පදය ගණන් ගන්නේ විභක්ති අනුව ය. විභක්ත්‍යන්ත වචනය පදයෙකි. “බුද්ධං සරණං ගච්ඡාමි” යන මෙහි පද තුනෙකි. “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි” යි කී කල්හි පද සය සම්පූර්ණ වේ. ඉන් ඔබ්බට අකුරකුදු කිව පචිති වේ. පෙළ අටුවා දෙකින් ම කියත හොත් පෙළින් පදයක් කියා අටුවාවෙන් පද සයක් කිය හැකි ය. එක් මාගමකට පද සයක් කියා වාඩි වී සිටි සැටියට ම සිට අන් මාගමකට තවත් පද සයක් කිය හැකි ය. මේ ක්‍ර‍මයෙන් පැමිණෙන පැමිණෙන මාගමුන් උදෙසා සපදය බැගින් ධර්මය කිය හැකි ය. පසුව පැමිණි මාගමට කියන පද සය කලින් සපදය ඇසූ මාගම අසා සිටිය ද ඇවැත් නො වේ. මෙහි නුවණැති පුරුෂයායි කියනුයේ කරන ගාථාව යහපත් කථාවක් ද නො මනා කථාවක් ද කාමය පිළිබඳ කථාවක් ද යන බව තේරුම් ගැනීමට සමත් පුරුෂයා ය. එබඳු පුරුෂයකු දොළොස් රියනකින් මොබ ඇති කල්හි මාගමුන්ට කොතෙක් දහම් දෙසුව ද ඇවැත් නො වේ. කරන කථාවේ තතු තේරුම් ගැනීමට නො සමත් ළමයකු හෝ බිහිරකු හෝ සිටිය ද ඇවතින් නො මිදේ. සමහරවිට පිරිත් කියවා ගැනීමට ස්ත්‍රීහු විහාරස්ථානවලට පැමිණෙති. පිරිමියකු සමග පැමිණෙන ලෙස ඔවුනට කිය යුතු ය. සමහරවිට ඔවුහු කුඩා ළමුන් කැඳවාගෙන එති. ඔවුන් සිටීම ඇවතින් මිදීමට ප්‍ර‍මාණ නොවේ. පාළිධර්මය ඒ සැටියෙන්ම නො කියා අන් බසකින් ඒ ධර්මය තේරුම් කර දීමෙන් හෝ ධර්මානුකූලව කථා අන් බසකින් කිරීමෙන් හෝ ඇවැත් නොවේ. ධර්මාන්විත ගාථාදිය කීමෙන් ද ඇවැත් වේ.

අභිවාදනාදිය පිළිබඳ කරුණු.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සංඝයා පිරිවරා විසල් පුරයෙන් සැවැත් නුවර බලා වඩනා කල්හි ෂට්වර්ගික භික්ෂූන්ගේ අතවැස්සෝ බුදුරදුන්ට පෙරටුව ගොස් අතරමඟ ඇති සඟසතු විහාර හා ශයනයන් මේවා අපගේ උපාධ්‍යායයන්ට ය, මේවා අපගේ ආචාර්ය්‍යන්ටය, මේවා අපටය යි වෙන් කර ගත්හ. එකල්හි සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුපාමොක් සඟනගේ පසු පසින් ගමන් කරන්නාහු පසු වී විහාරයට පැමිණ අසුනක් නොලැබ එක් ගසක් මුල රාත්‍රිකාලයේ වැඩ හුන්සේක. රාත්‍රියේ පශ්චිමයාමයේ භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මහතෙරණුවන්ගේ කැසිහඬ අසා මෙහි කවරෙක් දැයි විචාළ සේක. “ස්වාමීනි, “මම ශාරිපුත්‍ර‍ය” යි උන් වහන්සේ කීහ. “ශාරිපුත්‍ර‍ය, කුමක් නිසා නුඹ මේ රාත්‍රියෙහි මෙහි වෙසෙන්නෙහිදැ”යි භාග්‍යවතුන් වහන්සේ විචාළ කල්හි සැරියුත් මහතෙරුන් වහන්සේ ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ ශාරිපුත්‍ර‍ ස්ථවිර තෙමේ මාගේ අග්‍ර‍ශ්‍රාවකයා ය, මාගේ අසුනෙන් දෙවන අසුන ලැබීමට සුදුස්සා ය, ඔහු දැන් අසුනක් නො ලැබ ගස මුල හිඳින්නේ ය. මා ජීවත්වන කාලයේ ම මෙසේ භික්ෂූහු ගරු කළ යුත්තන්ට ගරු නො කරමින් යටත් විය යුත්තන්ට යටත් නො වෙමින් හැසිරෙත් නම් අනාගතයෙහි කෙසේ හැසිරෙන්නාහුදැයි ඉමහත් සංවේගයට පැමිණ භික්ෂූන් රැස් කරවා “මහණෙනි, ෂට්වර්ගික භික්ෂූන් ගේ අතවැස්සෝ බුදුපාමොක් සඟනට පෙරටුව ගොස් මේවා අපගේ උපාධ්‍යායයන්ටය, මේවා අපගේ ආචාර්‍ය්‍යයන්ටය, මේවා අපටය යි විහාරයන් හා ශයනයන් වෙන් කර ගනිත්ය යන මේ කරුණ සැබෑදැ”යි විචාළහ. භික්ෂූන් විසින් සැබෑය යි සැල කළ කල්හි අනේකාකාරයෙන් ඒ කාරණය ගැන ගර්හා කොට භික්ෂූන් අමතා මහණෙනි, මේ ශාසනයෙහි අග්‍රාසනයට අග්‍රෝදකයට අග්‍ර‍ පිණ්ඩයට සුදුසු වන්නේ කවරේදැ යි විචාළ සේක.

එකල්හි භික්ෂූහු කැත්කුලයෙන් පැවිදි වූයේ සුදුසු ය යි ද, බමුණු කුලයෙන් පැවිදි වූයේ සුදුසුය යි ද, ගැහැවි කුලයෙන් පැවිදි වූයේ සුදුසුය යි ද, සෞත්‍රාන්තිකයා සුදුසුය යි ද, විනයධරයා සුදුසුය යි ද, ධර්මකථිකයා සුදුසුය යි ද, ප්‍ර‍ථමාදි ධ්‍යාන ලැබූවහු සුදුස්සෝය යි ද, මඟපලවලට පැමිණියෝ සුදුස්සෝය යි ද මෙසේ නොයෙක් ආකාරයෙන් තම තමන්ගේ අදහස් සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට තිත්තිරජාතකය දක්වා වදාරා “මහණෙනි, තිරිසන් සත්ත්වයෝ ද ඔවුනොවුන් කෙරෙහි ගෞරව ඇතිව යටහත් පැවතුම් ඇතිව යහපත් පැවතුම් ඇතිව වාසය කළෝ ය. මහණෙනි, මේ ස්වාඛ්‍යාත ධර්මවිනයෙහි පැවිදි වූ තෙපි මෙසේ ඔවුනොවුන් කෙරෙහි ගෞරව නැතිව යටහත් පැවතුම් නැතිව යහපත් පැවතුම් නැතිව වෙසෙන්නාහු නම් එය අපැහැදුණවුන්ගේ පැහැදීම පිණිසත්, පැහැදුණවුන්ගේ ප්‍ර‍සාදය වැඩීම පිණිසත් හේතු නො වන්නේ ය. හුදෙක් එය නො පැහැදුණවුන්ගේ නො පැහැදීම පිණිසත් පැහැදුණා වූ ඇතමුන්ගේ පැහැදීම නැති වී යාම පිණිසත් හේතු වන්නේය යි වදාරා භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක.

“අනුජානාමි භික්ඛවෙ යථා වුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං, න ච භික්ඛවෙ සංඝිකං යථා වුඩ්ඪං පටිබාහිතබ්බං, යො පටිබාහෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[205]

මහණෙනි, වැඩිමහලු පිළිවෙළ අනුව පසඟ පිහිටුවා වැඳීමය, දැක හුනස්නෙන් නැඟීමය, දෙඅත් එක්කොට එසවීම් වශයෙන් වැඳීමය, අසුන් පැනවීම් ආදි සුදුසු දේ කිරීමය, අග්‍රාසනය ගැනීමය, අග්‍රෝදකය ගැනීමය, අග්‍ර‍පිණ්ඩය ගැනීමය යන මේවා අනුදනිමි. මහණෙනි, සඟසතු ආසනාදිය වැඩිමහලු පිළිවෙළින් ගැනීම නො වැළැක්විය යුතු ය. යමෙක් වළකා නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

මෙහි අග්‍රාසනය යනු දානශාලාදියෙහි ප්‍ර‍ධානාසනය ය. අග්ගෝදකය යනු පළමුවෙන් පිළිගන්වන පැන් ය. අග්ගපිණ්ඩය යනු දානයේ ප්‍ර‍ධාන කොට්ඨාසය ය.

නො වැඳිය යුත්තෝ.

“දස ඉමෙ භික්ඛවෙ අවන්දියා, පුරෙ උපසම්පන්නෙන පච්ඡා උපසම්පන්නො අවන්දියො, අනුපසම්පන්නො අවන්දියො, නානාසංවාසකො වුඩ්ඪතරො, අධම්මවාදි අවන්දියො, මාතුගාමො අවන්දියො, පණ්ඩකො අවන්දියො, පාරිවාසිකො අවන්දියො, මූලාය පටිකස්සනාරහො අවන්දියො, මානත්තාරහො අවන්දියො, මානත්තචාරිකො අවන්දියො, අබ්භානාරහො අවන්දියො, ඉමෙ ඛො භික්ඛවෙ දස අවන්දියා.”[206]

මහණෙනි, මේ පුද්ගලයෝ දසදෙන නො වැඳිය යුත්තෝ ය. පෙර උපසපන් වූවහ විසින් පසු උපසපන් වූයේ නො වැඳිය යුතු ය. අනුපසම්පන්නයා නො වැඳිය යුතු ය. වැඩිමහලු වූ අධර්මවාදී නානාසංවාසකයා නො වැඳිය යුතු ය. මාගම නො වැඳිය යුතු ය. පණ්ඩකයා නො වැඳිය යුතු ය. පාරිවාසිකයා නො වැඳිය යුතු ය. මූලාය පටිකස්සනයට සුදුස්සා නො වැඳිය යුතු ය. මානත දීමට සුදුස්සා නො වැඳිය යුතු ය. මානතපුරන්නේ නො වැඳිය යුතුය. අබ්භාන කර්මයට සුදුස්සා නො වැඳිය යුතු ය. මහණෙනි, මේ පුද්ගලයෝ දස දෙන නො වැඳිය යුත්තෝ ය.

“දසපුග්ගලා නාභිවාදෙතබ්බා අඤ්ජලි සාමීචෙන ච,

දස්සනං දුක්කටං හොති දසචීවරධාරණා.”[207]

යනුවෙන් කියන පුද්ගලයන් දසදෙනා හට අභිවාදනයෙන් අඤ්ජලීකර්මයෙන් ද පවසන්සැලීම් ආදි වත් කිරීමෙන්ද දුකුළා ඇවැත් වන බව පරිවාරපාළියෙහි වදාරා ඇත්තේ ය.

පරිවාරපාළියේ වදාළ අවන්දිය පුද්ගලයෝ.

“පඤ්චිමෙ උපාලි! අවන්දියා, කතමෙ පඤ්ච? අන්තරඝරං පවිට්ඨො අවන්දියො, රච්ඡගතො අවන්දියො, ඔතමසිකෝ අවන්දියො, අසමන්නා හරන්තො අවන්දියො, සුත්තො අවන්දියො. ඉමෙ ඛො උපාලි පඤ්ච අවන්දියා.”[208]

උපාලිය, මේ පස්දෙනා නො වැඳිය යුත්තෝ ය. කවර පස්දෙනෙක් ද? ඇතුළුගමට පිවිසියේ නො වැඳිය යුතුය, මාර්ගයෙහි යන්නේ නො වැඳිය යුතුය, අඳුරෙහි සිටින්නේ නො වැඳිය යුතුය, අන් කටයුත්තක යෙදී සිටින්නේ නො වැඳිය යුතුය, ශයනය කරන්නේ නො වැඳිය යුතුය. උපාලිය, මේ පස්දෙනා නොවැඳිය යුත්තෝ ය.

“අපරෙපි උපාලි! පඤ්ච අවන්දියා: කතමෙ පඤ්ච? යාගුපානෙ අවන්දියො, භත්තග්ගෙ අවන්දියො, එකාවත්තො අවන්දියො, අඤ්ඤවිහිතො අවන්දියො, නග්ගො අවන්දියො, ඉමෙ ඛො උපාලි පඤ්ච අවන්දියා.”[209]

උපාලිය, තවත් නො වැඳිය යුත්තෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක් ද? පලතුරු ආදිය කන්නේ නො වැඳිය යුතුය, වළඳන්නේ නො වැඳිය යුතුය, මල පහ කරන්නේ නො වැඳිය යුතුය, මුත්‍ර‍ කරන්නේ නො වැඳිය යුතුය, උත්ෂේපනීයකර්මය කළේ නො වැඳිය යුතුය, උපාලිය, මේ පස්දෙනා නො වැඳිය යුත්තෝ ය.

මේ පසළොස් දෙනාගෙන් නග්න පුද්ගලයාට හා උක්ඛිත්තකයාට වැඳීමෙන් දුකුළා ඇවැත් වේ. සෙස්සන්ට වැඳීමෙන් ඇවැත් නො වේ. වැඳීමට නුසුදුසු බැවින් ඒ අයට නො වැඳිය යුතුය. ආහාර වැළඳීම් ආදියෙහි යෙදී සිටින්නන්ට වැඳීම ඔවුනට කරදරයක් නිසා නො වැඳිය යුතුය. ඇඳ පුටු ආදියෙහි සැපී වඳින්නට යාමෙන් කරදර විය හැකි බැවින් අඳුරෙහි සිටින්නහුට නො වැඳිය යුතුය. සතුරන්ට වඳින කල්හි සමහරවිට පයින් පහර දෙන්නට ද පිළිවන. ඒ නිසා ඔවුනට නො වැඳිය යුතුය. නානාසංවාසකයෝ කම්මනානාසංවාසකයෝය, ලද්ධිනානා-සංවාසකයෝය යි දෙකොටසකි. ඇවැත් නො පිළිගැනීම, ඇවතට පිළියම් නො කිරීම, ලාමක දෘෂ්ටි ගැනීම යන කරුණු නිසා උත්ෂේපනීය කර්මය කරන ලද්දෝ කම්මනානාසංවාසකයෝ ය. ඔවුන්ගේ ලබ්ධිය ගත්තෝ ලද්ධිනානාසංවාසකයෝ ය.

වැඳීමට සුදුස්සෝ.

“පඤ්චිමෙ උපාලි වන්දියා. කතමෙ පඤ්ච? පච්ඡා උපසම්පන්නෙන පුරෙ උපසම්පන්නො වන්දියො, නානාසංවාසකකො වුඩ්ඪතරො ධම්මවාදී වන්දියො, ආචරියො වන්දියො, උපජ්ඣායො වන්දියො, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍ර‍හ්මකෙ සස්සමණබ්‍රාහ්මණීයා පජාය සදෙවමනුස්සාය තථාගතො අරහං සම්මාසම්බුද්ධො වන්දියො. ඉමෙ ඛො උපාලි පඤ්ච වන්දියා.”[210]

උපාලිය, මේ පස්දෙනා වැඳිය යුත්තෝ ය. කවර පස්දෙනෙක් ද? පසුව උපසපන් වූවහු විසින් පෙර උපසපන් වූ පුද්ගලයා වැඳිය යුතුය, වැඩිමහලු ධර්මවාදී නානාසංවාසකයා වැඳිය යුතුය, ආචාර්‍ය්‍යයා වැඳිය යුතුය, උපාධ්‍යායයා වැඳිය යුතුය, දෙවියන් සහිත වූ ලෝකයෙහි මරුන් සහිත වූ බ්‍ර‍හ්මයන් සහිත වූ ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ ප්‍ර‍ජාවෙහි තථාගත වූ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වැඳිය යුත්තාහ. උපාලිය, මේ පුද්ගලයෝ පස්දෙන වැඳිය යුත්තෝ ය.

පබ්බජ්ජාචරිය උපසම්පදාචරිය නිස්සයාචරිය උද්දේසාචරිය ඔවාදාචරිය යි ආචාර්‍ය්‍යයෝ පස් දෙනෙකි. තමාට උපසම්පදාවෙන් නවක වූ ද ආචාර්‍ය්‍යවරයාට ආචාර්‍ය්‍යත්වය සලකා වැඳීම සුදුසුය. නො වියත් මහලු මහණකුට නිස ගැනීමට මහලු මහණකු සොයා ගත නො හෙන කල්හි උපසම්පදාවෙන් තමාට බාල කෙනකුට වුව ද වැඳ නිස ගත යුතු බව දක්වා ඇත. ඒ නිශ්‍ර‍යාචාර්‍ය්‍යයාගෙන් ගම් වැදීම් ආදියට අවසර ගන්නා කල්හි උක්කුටිකව හිඳ වැඳ අවසර ගත යුතු බව ද පාළිමුත්තකවිනයවිනිච්ඡයේ දක්වා ඇත.

වැඳිය යුතු ආකාරය.

“නවකතරෙනුපාලි, භික්ඛුනා වුඩ්ඪතරස්ස භික්ඛුනො පාදෙ වන්දන්තෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පාදා වන්දිතබ්බා. කතමෙ පඤ්ච? නවකතරෙනුපාලි, භික්ඛුනා වුඩ්ඪතරස්ස භික්ඛුනො පාදෙ වන්දන්තෙන එකංසං උත්තරාසංගං කරිත්වා අඤ්ජලිම්පග්ගහෙත්වා උභොහි පාණිතලෙහි පාදානි පරිසම්බාහන්තෙන පෙමං ච ගාරවං ච උපට්ඨපෙත්වා පාදා වන්දිතබ්බා. නවකතරෙනුපාලි වුඩ්ඪතරස්ස භික්ඛුනො පාදෙ වන්දන්තෙන ඉමෙ පඤ්චධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පාදා වන්දිතබ්බා.”[211]

මහලු භික්ෂුවකගේ පා වඳනා නවක භික්ෂුව විසින් කොතෙක් ධර්ම තමා කෙරෙහි පිහිටවා ගෙන ඒ වන්දනාව කළ යුතුදැයි උපාලි මහාස්ථවිරයන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඉහත දැක්වූ පාඨය වදාළ සේක. එයින් ප්‍ර‍කාශ වන්නේ කරුණු පසක් තමා කෙරෙහි පිහිටවා ගෙන වැඳීම කළ යුතු බවය. ඒ කරුණු පස නම් සිවුර ඒකාංස කොට පෙරවීම, සිටගෙන ම දොහොත් එකතු කොට එසවීම, ඉක්බිති මහලු භික්ෂුවගේ පතුල් තමාගේ අත්වලින් පිරිමැදීම, ආදරයෙන් යුක්තවීම, ගෞරවයෙන් යුක්තවීම යන මේවා ය. වැඳීමේදී තමාගේ දෙදණ දෙවැලමිට නළල යන පඤ්චාංගය බිම පිහිටුවා වැඳිය යුතුය. අනේකප්‍ර‍කාර වන්දනාක්‍ර‍ම අතුරෙන් මේ ඉතා හොඳ වන්දනා ක්‍ර‍මය ය. මෙකල භික්ෂූහු වැඩිමහල්ලන්ට වඳිතත් බුදුරදුන් වදාරන ලද ඒ ක්‍ර‍මයේ සැටියට වැඳීම පුරුදු කරගෙන නැත. බුදුන් වහන්සේ වදාළ ක්‍ර‍මය හැර අන් ක්‍ර‍මවලින් වැඳීම ආපත්තිකර කරුණක් නො වතුදු එය භික්ෂූන්ගේ පරිහාණියට කරුණකි. අන්‍යෝන්‍ය ගෞරවය භික්ෂූන්ගේ දියුණුවට බලවත් හේතුවකි. කියන ලද පරිදි පතුල් පිරිමැද ආදරයෙන් ගෞරවයෙන් වඳින්නා වූ නවකයා ගැන ඉමහත් මෛත්‍රියක් කරුණාවක් මහලු භික්ෂුවට ඇති වේ. එයින් මහලු භික්ෂුව “නිදුක් වේවා, නීරෝගි වේවා, සුවපත් වේවා” යි ඉතා ආදරයෙන් සුබ පතයි. එය නවක භික්ෂුවගේ ආයුරාරෝග්‍ය වර්ධනයට බලවත් හේතුවක් වේ. මේ වන්දනාව භික්ෂූන් අතර සමගිය අන්‍යෝන්‍ය හිතවත්භාවය ඇතිවීමට ද බලවත් හේතුවක් වේ. ගෝලයන් තනන මහතෙරවරුන් විසින් තම තමන්ගේ ගෝලයන්ට නියම ක්‍ර‍මයෙන් වැඳීම පුරුදු කරවිය යුතු ය. එය වයස්ගත වූවන්ට පුරුදු කරවීම දුෂ්කරය.

සාමණේරයන්ගේ වෘද්ධපටිපාටිය.

පසුව උපසපන් වූවහු විසින් කලින් උපසපන්වූවහුට වැඳියයුතුය යන මේ නීතිය අනුව පසුව පැවිදි වූ සාමණේරයා විසින් කලින් පැවිදි වූ සාමණේරයාට වැඳිය යුතුය යි කිය යුතු ය. එහෙත් සාමණේර වෘද්ධපටිපාටිය ගැන විනයපාළියේ කිසිවක් සඳහන් වී නැත. අටුවාටීකාවල ද කිසිවක් කියා නැත. නැත්තේ සාමණේර වෘද්ධපටිපාටියක් ස්ථිර වශයෙන් පැවැත්විය නො හෙන නිසා විය හැකි ය. දසනාසනාංගයන් අතුරෙන් යම්කිසිවකට පැමිණි සාමණේරයාගේ සාමණේරභාවය එයින් කෙළවර වේ. මදුරුවකු මැරීමෙන් වුව ද කවට කමට බොරුවක් කීමෙන් වුව ද සාමණේරභාවය නැති වේ.

“සාමණේරො හි කුන්ථකිපිල්ලකං’ පි මාරෙත්වා මංකුණණ්ඩකම්පි භින්දිත්වා නාසෙතබ්බං යෙව පාපුණාති. තාවදෙවස්ස සරණගමනානි ච උපජ්ජායගහණඤ්ච සෙනාසනග්ගාහො ච පටිප්පස්සම්භති. සංඝලාභං න ලභති. ලිංගමත්තමෙව එකං අවසිට්ඨං හොති.”[212]

මේ අටුවාපාඨයෙන් කියැවෙන්නේ සාමණේරයා උකුණකු කුහුඹුවකු වුව ද මරා මකුණු බිත්තරයක් වුව ද බිඳ නැසිය යුත්තකු බවට පැමිණේය, එකෙණෙහිම ඔහුගේ සරණගමනය ද උපාධ්‍යායග්‍ර‍හණය ද සෙනසුන් ගැනීම ද නැති වන්නේය. සංඝලාභය නො ලබන්නේ ය. ඔහුට එකක් වූ ශ්‍ර‍මණ වේශය පමණක් ඉතිරි වේය කියාය. ඔහුට ඉතිරි වන ශ්‍ර‍මණ වේශය වැඩිමහලු භාවය පැවතීමට සෑහෙන කරුණක් නො වේ. නැසිය යුතු බවට පැමිණි සාමණේරයා ආයතිසංවරයේ පිහිටා නැවත සරණසමාදානය කළහොත් ඔහු අලුත් සාමණේරයෙක් වේ. උපසම්පන්නයකු ශික්ෂාපත්‍ර‍්‍යාඛ්‍යානය කොට සිවුරෙන් ම සිට නැවත උපසම්පදා වුවහොත් ඔහුට භික්ෂූන් අතර පළමු සිටි තැන නො ලැබේ. ඔහු නවකයෙක් වේ. නවකභාවයට පැමිණි ඔහු විසින් කලින් තමාට බාලව සිටි භික්ෂූන්ට වැඳිය යුතු වේ. එමෙන් නැසිය යුතු බවට පැමිණ සරණ සමාදන් වූ සාමණේරයා ද නවකයෙක් වේ. සාමණේරශීලය දිගු කලක් පැවැත්වීමට දුෂ්කර ය. සාමණේරයන්ට ශීල භේදයට පැමිණිමෙන් නැවත නැවත සරණ සමාදන් වීමෙන් අලුත් වන්නට සිදු වේ. එබැවින් සාමණේරයන් අතර වෘද්ධපටිපාටියක් පැවැත්වීම දුෂ්කර ය. නැසිය යුතු බවට පැමිණ සිටින කොතරම් පරණ සාමණේරයකුට වුව ද එදින පැවිදි වූවකුගෙන් වුව ද වැඳුම් ලැබීම නුසුදුසු ය. මේ සාමණේරයන් විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණෙකි.

ජලය පිළිබඳ සිකපද.

සප්පාණක සිකපදය.

“යො පන භික්ඛු ජානං සප්පාණකං උදකං තිණං වා මත්තිකං වා සිඤ්චෙය්‍ය වා සිඤ්චාපෙය්‍ය වා පාචිත්තියං.”[213]

යම් මහණෙක් ප්‍රාණීන් සහිත ජලය ප්‍රාණීන් සහිත බව දැන තණවලට හෝ මැටිවලට හෝ තෙමේ ඉසින්නේ හෝ අනුන් ලවා ඉස්සවන්නේ හෝ වේ නම් පචිති වේ.

ගස්වැල් වැවීම සඳහා පස තෙත් කිරීම පිණිස හෝ බදාම තැනීම සඳහා මැටි සුණු සිමෙන්ති වැලි තෙත් කිරීම පිණිස හෝ ප්‍රාණීන් සහිත ජලය දැන යොදන්නේ නම් පචිති වේ. භාජනයක ඇති ප්‍රාණීන් සහිත ජලය භාජනය පිරිසිදු කිරීම පිණිස පොළොවට වත් කළ ද පචිති වේ. සප්‍රාණික ජලය ඇති භාජනයක් පිරිසිදු කර ගැනීමට එහි ජලය ඉවත් කරන්නට සිදු වී ඇති නම් ඒ ජලය, ජලය ඇති තැනකට දැමිය යුතුය. තණ ආදිය සප්‍රාණික ජලයට දැමුව ද පචිති වේ. ඇවැත් වන්නේ දමන දෙයට ජලය උරාගෙන සිඳී යන මඳ ජලය ඇති තැනකට තණ ආදිය ලැබීමෙනි. තණ ආදිය දැමුව ද සතුන්ට හානියක් නො වන මහාජලයට තණ ආදිය දැමීමෙන් ඇවැත් නො වේ. වැව් ආදියේ ජලය පොළොවට උරා වියළී යන පරිදි ගලා යන්නට සැලැස්වීමෙන් ද ඇවැත් වේ. භාජනයකට ගත් සප්‍රාණික ජලය මැටි ආදියට එක් වරට ම වත් කිරීමෙන් එක් ඇවතක් වේ. නවත්වමින් වත්කරන්නහුට නවත්වා වත්කරන වාර ගණනින් ඇවැත් වේ.

“යො පන භික්ඛු ජානං සප්පාණකං උදකං පරිභුඤ්ජෙය්‍ය පාචිත්තියං.”

යම් මහණෙක් දැන ප්‍රාණින් සහිත ජලය පරිභෝග කෙරේ නම් පචිති වේ.

පරිභෝග කිරීමය යනු පානය කිරීම, මුව සේදීම, අත්පා සේදීම, නෑම, භාජන සේදීම, සිවුරු සේදීම යනාදියට යෙදවීම ය. ප්‍රාණීන් සහිත ජලය පරිභෝග කිරීමේදී ප්‍රයෝගයක් පාසා ඇවැත් වේ. වතුර කෝප්පය එක වරට ම පානය කළ හොත් එක් ඇවතක් වේ. නවත නවතා පානය කරත හොත් පානය කරන වාර ගණනට ඇවැත් වේ. සප්‍රාණික ජලයෙන් පාත්‍රාදිය සේදීමෙන් ද එසේ ම ඇවැත් වේ. භාජනයකට හෝ අතට හෝ ගෙන අත් පා සේදීමෙන් ද නෑමෙන් ද ඇවැත් වේ. නානදිය ජලයකට ම ගලා යන තැනකදී නෑමෙන් ඇවැත් නො වේ එසේ නැති නම් සප්‍රාණික ජලය පෙරා පිරිසිදු නො කොට නො නෑ යුතුය. නෑමට බොහෝ ජලය වුවමනා බැවින් පෙරා පිරිසිදු කර ගැනීම එතරම් පහසු නැත. නාන ජලය, ජලය ඇති තැනකට ම ගලා යන ලෙස පිළියෙළ කර ගත් විට ඇවැත් සිදු නො වන පරිදි ලෙහෙසියෙන් නෑ හැකි ය. සප්‍රාණික ජලටය බැස ඒවා ගොඩට විසි වන පරිදි රැළි නැංවීම නුසුදුසු ය. ළිඳක පොකුණක ජලය අපිරිසිදු වී ඉස දමන්නට සිදු වී ඇති කල්හි ද ඉසින ජලය, ජලය ඇති තැනකට ගලා යන පරිද්දෙන් එය කළ යුතු ය. එබඳු තැනක් නැති නම් වළක් කැණ ජලය එහි එකතු වන පරිදි ඉසීම කළ යුතුය. ළිං පොකුණු ආදියේ පිරිසිදු ජලය ද තිබිය හැකි ය. ඒවා පරිභෝග කිරීමෙන් ඇවැත් නැත. ජලයෙහි ලෙහෙසියෙන් දැකිය නො හෙන ඉතා කුඩා ප්‍රාණීන් ද සිටිය හැකි බැවින් නිතර ම ජලය පෙරා පරිභෝග කරන්නට භික්ෂූන් පුරුදු විය යුතු ය. අටපිරිකරට පෙරහනක් ඇතුළු කර ඇත්තේ ද ජලය නිතර ම පෙරා පරිභෝග කළ යුතු නිසාය. පාත්‍ර‍ සිවුරු මෙන් ම පෙරහනත් භික්ෂූන්ට අවශ්‍යයෙන් තිබිය යුතු පරිෂ්කාරයෙකි.

පෙරහන පිළිබඳ සිකපද.

“න භික්ඛවෙ අද්ධානමග්ගපටිපන්නෙන භික්ඛුනා පරිස්සාවනං යාචියමානෙන න දාතබ්බං, යො න දදෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[214]

මහණෙනි, දීර්ඝමාර්ගයෙහි ගමන් ගෙන සිටින භික්ෂුවක් විසින් පෙරහන ඉල්ලන කල්හි නො දී නො සිටිය යුතු ය. යම් භික්ෂුවක් පෙරහන නො දේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

“න ච භික්ඛවෙ අපරිස්සාවනකෙන අද්ධානමග්ගො පටිපජ්ජිතබ්බො, යො පටිපජ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, පෙරහනක් නො ගෙන දුර ගමන් නො යා යුතු ය. යමෙක් යේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

“සචෙ න හොති පරිස්සාවනං වා ධම්මකරකො වා සංඝාටිකණ්ණොපි අධිට්ඨාතබ්බො. ඉමිනා පරිස්සාවෙත්වා පිවාමීති.”[215]

ඉදින් පෙරහනක් හෝ ඩබරාවක් හෝ නැ්තතේ නම් මෙයින් පැන් පෙරා බොමි යි සිවුරේ කොනක් හෝ ඉටා ගත යුතු ය.

සඤ්චිච්චපාණ සික්ඛාපදය.

“යො පන භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්‍ය පාචිත්තියං.”[216]

යම් මහණෙක් මරමියි සිතා ප්‍රාණියකු ජීවිතයෙන් තොර කෙරේ නම් පචිති ඇවැත් වේ. මෙහි අදහස් කරන ප්‍රාණියා නම් තිරිසන් සත්ත්වයා ය. තිරිසනකු මැරීමෙන් පචිති වේ. මිනිසකු මැරීමෙන් පරිජි වේ. යක්ෂාදීන් මැරීමෙන් ථුලැසි ඇවැත් වේ. මේ සිකපදයේ විස්තරය තෙවන පාරාජිකා සිකපදය අනුව සැලකිය යුතු ය.

පොළොව කැණීම

පඨවිඛණන සික්ඛාපදය.

“යො පන භික්ඛු පඨවිං ඛණෙය්‍ය වා ඛණාපෙය්‍ය වා පාචිත්තියං.”[217]

යම් මහණෙක් පොළොව තෙමේ සාරන්නේ හෝ අනුන් ලවා සාරවන්නේ හෝ වේ නම් පචිති වේ.

ජාතපඨවිය, අජාතපඨවිය යි පඨවිය දෙයාකාර වේ. එයින් ජාතපඨවිය: සුද්ධපඨවිය මිස්සකපඨවිය පුඤ්ජපඨවිය යි තුන් ආකාර වේ. “සුද්ධපඨවිය” යනු ගල්කැට කැබිලිති බොරළු වැලි මිශ්‍ර‍ වී නැති පස හා මැට්ටය. “මිස්සකපඨවිය” යනු ගල්කැට කැබිලිති බොරලු වැලි යන මේවායින් යම් කිසිවක් තුනෙන් පංගුවක් පමණ මිශ්‍ර‍ පස හා මැට්ටය. “පුඤ්ජපඨවිය” යනු පොළොවෙන් සාරා මතු කොට ගොඩ දැමූ හෝ කඳු බෑවුම් වලින් ගැලවී වැටී ගොඩ ගැසුණා වූ හෝ වතුරපාරට සෑරී ගොඩ ගැසුණා වූ හෝ පස ය. කිනම් ආකාරයකින් හෝ පෙළොවෙන් මතු වී ගොඩ ගැසී සිවුමසකට අධික කාලයක් වැස්සට තෙමුණු පසත් මැට්ටත් පුඤ්ජපඨවි නම් වේ. සුළඟින් අවුත් ගල්තලා මත රැස්වන දූවිලි තට්ටු ද වැසිදියෙන් තෙමී සිවුමසක් ගතවීමෙන් පුඤ්ජපඨවිභාවයට පැමිණේ. ගින්නෙන් දැවීමෙන් පඨවියේ ජාතපඨවිභාවය නැති වේ. ගින්නෙන් නො දැවුණු තුන් ආකාර වූ ජාතපඨවිය භික්ෂූන් විසින් කැණීමට කැඩීමට ඉරි ගැසීමට දැවීමට නුසුදුසු වූ අකප්පිය පඨවිය ය. ගල්කැට කැබිලිති බොරළු වැලි යන මේවා හා තුනෙන් දෙපංගුවක් මිශ්‍ර‍ වී ඇති පස ද මැට්ට ද ගින්නෙන් දැවුණු පඨවිය ද අජාත පඨවිය ය. අජාත පඨවිය කැප පඨවිය ය. එය කැණීමෙන් කැණවීමෙන් ඇවැත් නො වේ.

ගින්නෙන් දැවී විකෘති නො වූ ජාතපඨවිය උදලු උල් ආදියෙන් තමා විසින් කැණීමෙන් ද අනුන් ලවා කැණවීමෙන් ද ගින්නෙන් දැවීම අත්පා ආදියෙන් කැඩීම එහි උල් ගැසීම ඉරි ගැසීම යන මේවා කිරීමෙන් හා කරවීමෙන් ද භික්ෂුවට පචිති ඇවැත් වේ. තමා විසින් ජාතපඨවිය සාරන කල්හි ගසන පහරක් පාසා පචිති වේ. අනුන් ලවා කැණවීමේදී අණ කරන වාරයක් පාසා පචිති වේ. වරක් අණ කළ කල අණ ලැබූවහු දවස මුළුල්ලේ සෑරුව ද ආණාපකයාට වන්නේ එක් ඇවතකි. කැණීම නැවැත්වීමෙන් නැවත නැවත අණ දෙන්නේ නම් අණ දෙන වාරයක් පාසා ඇවැත් වේ.

මේ සිකපදය පිළිබඳ අටුවාවේ දැක්වෙන පාළිමුක්තක විනිශ්චය මෙසේ ය. පොකුණක් හාරවයි කීමෙන් ඇවැත් නො වේ. පොකුණය යි කියනුයේ සාරන ලද්දටය. එහි නැවත කැණිය යුත්තක් නැත. එබැවින් එසේ කීම සුදුසුය. එය කප්පිය ව්‍යවහාරය ය. ළිඳක් සාරව අගලක් කපව වළක් සාරවයි කීම ද එසේ ම කප්පිය ව්‍යවහාරය ය. මෙතැන සාරන්නය මෙතැන වළක් කපන්නය ළිඳක් කපන්නය යි කීම අකප්පිය ව්‍යවහාරය ය. එසේ කීමෙන් ඇවැත් වේ. අල සාරන්නය මුල් සාරන්නය යි අනියමින් කීමෙන් ද ඇවැත් නො වේ. මේ වැල සාරන්නය මේ ස්ථානය සාරන්නය මෙතැන අගලක් කපන්නය යි කීමෙන් ඇවැත් වේ. ළිං පොකුණු පිරිසිදු කිරීමේ දී පොළොව හා බැඳී නැති, කූඩාවලින් ගත හැකි දියාරු මඩ ඉවත් කිරීම සුදුසුය. පොළොව හා බැඳී ඇති තද මඩ ඉවත් කිරීම නුසුදුසු ය. අව්වෙන් වියළී පැළුණු මඩ පොළොව හා බද්ධ වී නැති නම් ඉවත් කිරීමෙන් ඇවැත් නො වේ. පොකුණක ඉවුරු කඩා වැටී වතුර සමීපයේ ගොඩ වූ පස වැසිදියෙන් තෙමී සිවුමසක් ගත වන්නට කලින් ඉවත් කිරීම සුදුසු ය. වැසිදියෙන් තෙමී සිවුමස පසු වූ පසු ඉවත් කිරීමෙන් ඇවැත් වේ. පොකුණු දියට කඩා වැටුණු පස වැසිදියට අසු නො වන බැවින් කල් ගත වුව ද ඉවත් කිරීමෙන් ඇවැත් නො වේ. ගල්තලාවක කණින ලද පොකුනකට එහි ජලය රැස්වන්නට කලින් වැටුණ පස් වරක් හෝ වැස්සට තෙමී සිවුමසක් ගතවී නම් එහි පසු කාලයේ රැස් වූ ජලය සිඳීයාමෙන් පොකුණ ශුද්ධ කිරීමේදී ඒ පස භික්ෂූන්ට ඉවත් කිරීම නුසුදුසු ය. පොකුණෙහි ජලය රැස්වීමෙන් පසු වැටුණු පස්වලට වැසිදිය නො වැටෙන බැවින් පොකුණ ශුද්ධ කිරීමේදී ඒවා ඉවත් කිරීම සුදුසු ය. ඒවා කොතෙක් පරණ වුවත් ඉවත් කිරීමෙන් ඇවැත් නො වේ. ගල්තලාව මත වැටී ඇති සියුම් රජස් තෙත් වී එහි ඇලී වැස්සට අසුවී සිවුමස ගත වී ඇති නම් ඒවා විකෝපනය නො කළ යුතුය. ගුහාවක් තුළ නැඟී ඇති තුඹස ඉවත් කිරීමෙන් ඇවැත් නො වේ. එළිමහනෙහි නැඟී ඇති තුඹස වැසිදියෙන් තෙමී සිවුමසක් ගත වී ඇති නම් කැඩීමෙන් ඇවැත් වේ. ගස්වලට නැඟ ඇති වේ පස් සම්බන්ධයෙන් ද එසේ කිය යුතු ය. සෑ තැන්වල නඟුලින් බිඳුණු මැටි කැට පොළොව හා අසම්බන්ධ නම් ගැනීමෙන් ඇවැත් නැත. පොළොවෙන් වෙන් නොවූ මැටිකැට ගැනීම නුසුදුසු ය. පියැස්ස නැත්තා වූ බිඳී ගිය හෝ පරණ ගෙයි බිත්ති ආදිය වැසිදියෙන් තෙමී සිවුමස ඉක්මීමෙන් ජාතපඨවි සංඛ්‍යාවට වැටේ. විකෝපනය කිරීමෙන් ඇවැත් වේ. එහි ගල් ආදිය ගැනීමෙන් ඇවැත් නො වේ. පඨවිය විකෝපනය කරන අදහසින් තොරව ගල් ආදිය ගැනීමේ දී පස බිඳී ගිය ද ඇවැත් නො වේ. බිත්තිවල මැටි ගැලවුව ඇවැත් වේ. වියළි මැටි ඇති නම් ගැනීමෙන් ඇවැත් නො වේ. එළිමහනෙහි බැඳි මැටි තාප්පය වැසිදියෙන් තෙමී සිවුමස ගතවීමෙන් ජාතපඨවි සංඛ්‍යාවට පැමිණේ. එය විකෝපනය කිරීමෙන් ඇවැත් වේ. මැටියෙන් ගලින් හෝ ගඩොලින් හෝ කළ තාප්පය ගල් ගඩොල් බහුල පඨවිය වන නිසා විකෝපනයෙන් ඇවැත් නො වේ. එළිමහනේ සිටුවා ඇති කණු ඉදිරීමේදී බුරුල් කිරීම පිණිස ඒ මේ අතට සෙලවීමෙන් ඇවැත් වේ. කෙළින් ඉදිරීමෙන් ඇවැත් නො වේ. වියළි ගස් ඉදිරීමේ දී ද ඒ ක්‍ර‍මය ම ය. නවකර්මයක් පිණිස බර කඳක් ලීවලින් ඔසවමින් පෙරළාගෙන යාමේදී පොළොව කැඩී ගිය ද ඇවැත් නො වේ. අතු ආදිය ඇදගෙන යාමේදී පොළොව සීරී යාමෙන් ද දර පැළීමේදී පොළොව කැඩී යාමෙන් ද ඇවැත් නො වේ. ඇමදීමේදී බිම සම කිරීමේ අදහසින් පොළොව සීරෙන පරිදි ඉදල තදකොට ඇමදීම ද නුසුදුසු ය. පොළොව කැඩෙන සේ සැරයටිය තදින් බිම හැණීම ද නුසුදුසු ය. අත හේ අන් කිසිවක් හෝ සේදීමේදී බිම ඇතිල්ලීම ද නුසුදුසු ය. තෙත් වූ අත බිම තබා රජස් ගැනීම සුදුසු ය. පොළොව බිඳගෙන යන පරිදි බිම වතුර වත්කිරීම ද නුසුදුසු ය.

“පඨවියා පඨවිසඤ්ඤි ඛණති වා ඛණාපෙති වා භින්දති වා භෙදාපෙති වා දහති වා දහාපෙති වා ආපත්ති පාචිත්තියස්ස.”[218]

මෙසේ වදාරා ඇති බැවින් පොළොව කැණීමෙන් බිඳීමෙන් පමණක් නොව ගින්නෙන් දැවීමෙන් ද දැවවීමෙන් ද ඇවැත් වන බව දතයුතු ය. භික්ෂුවකට පාත්‍ර‍ය කළු කර ගැනීම ආදි කරුණකට ගිනි දැල්වීමට වුවමනා නම් කලින් ගිනි දැල්වූ තැනක මිස අන් තැනක ගිනි නො දැල්විය යුතු ය. පොළොවෙහි අන් තැනක ගිනි දැල්වුව ඇවැත් වේ. ගින්න පොළොවට නො වැදෙන පරිදි ගල්තලාවක හෝ ගඩොලක් මත හෝ වැලිතලාවක හෝ ගිනි දැල්වීමෙන් ඇවැත් නො වේ. දරගොඩක් කොළගොඩක් මත ගිනි දැල්වුව හොත් ඒවාට ගිනි ඇවිලී ගින්න පොළොවට පැමිණ පොළොව දැවෙන බැවින් ඇවැත් වේ. වරක් ගින්නෙන් දැවී ඇති පස විකෝපනය කිරීමෙහ් හා එහි ගිනි දැල්වීමෙන් ඇවැත් නො වේ. පොළොවෙහි පිහිටි වියළි ගස්වලට හා කොටවලට ගිනි දැල්වීම නො කළ යුතුය. ගින්න පොළොවට පැමිණෙන්නට කලින් නිවා දැමීමේ අදහසින් ගිනි දැල්වීමෙන් ඇවැත් නො වේ. එසේ දල්වන ලද ගින්න නිවිය හැකි නො වී පොළොව දැවුණේ ද අවිෂය බැවින් ඇවැත් නො වේ. ගිනිහුලක් ගෙන යාමේදී එය කෙටි වී අත දැවෙන්නට එන කල්හි බිම දැමීමෙන් ම ද ඇවැත් නො වේ. එය වැටුණු තැනට දර දමා ගිනි ඇවිලවීමෙන් ද ඇවැත් නො වේ.

“අනාපත්ති ඉමං ජානං ඉමං දෙහි ඉමං ආහර ඉමිනා මෙ අත්ථො ඉමං කප්පියං කරොහීති භණති.”[219]

මේ කණුව සිටවීමට වළක් කණින්නය යි කිව හොත් ඇවැත් වේ. මේ කණුවට වළක් දැන ගන්නය යි කීමෙන් ඇවැත් නො වේ. මැටි ටිකක් දෙන්නය පස් ටිකක් දෙන්නය මැටි ගෙනෙන්නය පස් ගෙනෙන්නය කීමෙන් ඇවැත් නො වේ. මේ කණුවට වළක් කප්පියං කරන්න ය, වතුර බැසයාමට අගලක් කප්පියං කරන්නය යි කීමෙන් ඇවැත් නො වේ.

ගස් කැපීම.

භූතගාම ශික්ෂ්පදය.

“භූතගාමපාතබ්‍යතාය පාචිත්තියං.”[220]

යම්කිසි තැනක පිහිටි බීජයෙන් හටගත් නො මළ ගස්වැල් ආදිය විකෝපනය කිරීමෙන් පචිති වේ.

“භූතගාම” යනු යම්කිසි තැනක පිහිටා ඇති මූලබීජාදි පඤ්චප්‍ර‍කාර බීජයන්ගෙන් හටගත්තා වූ ද වැඩුණා වූ ද වැඩෙන්නා වූ ද ගස්වැල් තණ සෙවෙල් ආදියට නමෙකි. ඒ භූතගාමය ආවුධවලින් තමා විසින් සිඳීමෙන් ද අනුන් ලවා සිඳවීමෙන් ද ගල් ආදියෙන් තමා විසින් තළා තුවාල කිරීමෙන් ද අනුන් ලවා තුවාල කරවීමෙන් ද තමා විසින් ගින්නේ පැසවීමෙන් ද අනුන් ලවා එසේ කරවීමෙන් ද පචිති ඇවැත් වේ. ගින්නෙන් පැසවීමය යනු ගස්වැල් තැම්බී යන පරිදි දැවී යන පරිදි ඒවාට ළං කොට ගිනි දැල්වීම ය. භූතගාමයෙන් වෙන් වූ බීජයන්ට එසේ කිරීමෙන් දුකුළා ඇවැත් වේ.

මූලබීජ, ඛන්ධබීජ, ඒළුබීජ, අග්ගබීජ, බීජබීජයයි බීජ පස්වර්ගයකි. බීජයන් කැපීම තැලීම දැවීම වශයෙන් විකෝපනය කිරීමෙන් හා කරවීමෙන් දුකුළා ඇවැත් වේ.

දියේ හටගෙන දියේ වැඩෙන්නා වූ භූතගාමයෝ ය, ගොඩ හටගෙන එහි ම වැඩෙන භූතගාමයෝ ය යි භූතගාම දෙවර්ගයෙකි. පත් ඇත්තා වූ ද නැත්තා වූ ද සෙවෙල් ජාති හා දියමත පාවෙන පැළෑටි වර්ග දියේ හැදෙන වැඩෙන භූතගාමයෝ ය. ඒවායේ ස්ථානය ජලය ය. ඒවා ජලයෙන් මතු කිරීම විකෝපනය කිරීම ය. ඒවා ජලයෙන් මතු කිරීමෙන් ගොඩට ගැනීමෙන් පචිති වේ. ජලයත් සමඟ භාජනයකට ගැනීමෙන් ඇවැත් නො වේ. එසේ ගන්නා ලද්ද දියට ම දැමිය යුතු ය. ගොඩට දැමුව හොත් පචිති වේ. නෑම සඳහා හෝ වතුර ගැනීම සඳහා හෝ දියේ ම එහා මෙහා කිරීමෙන් ඇවැත් නො වේ. දියේ හට ගන්නා සෙවෙල ජාතියක මුල් පොළොවට බැස ඇත්තේ නම් ඒවා පොළොවෙන් වෙන් කිරීමෙන් පචිති වේ. දිය සෙවෙල් ආදිය දියේ තිබිය දී ම සිඳීමෙන් ද පචිති වේ. අන්‍යයන් විසින් ගොඩ දමන ලද නො මළ දියසෙවෙල් ආදිය බීජ ගාමයට අයත් ය. ඒවා විකෝපනය කිරීමෙන් දුකුළා ඇවැත් වේ. තෙමෙන තාප්ප බිත්ති චෛත්‍ය ආදියෙහි හටගන්නා කොළ ඇති දියසෙවෙල් ද භූතගාමයට අයත් ය. ඒවායේ කොළ ඇති නැති බව පෙනෙන්නේ ළංවී හොඳින් බැලුව හොත් ය. ඒවා සූරා දැමීමෙන් හා ඒවා මත සුණු ගෑමෙන් ද ඇවැත් වේ. ගස් වැල් සොලවා ඉදුණු කොළ හා මල් බිම හෙළීමෙන් ද ඇවැත් වේ. ගස්වල හා කොළවල අකුරු සටහන් කැපීමෙන් ද ඇවැත් වේ. ගෙඩි හෝ මල් කඩා ගැනීමට සාමණේරයන්ට ගස් වැල් නමා පහත් කරදීමෙන් ඇවැත් නො වේ. එහේත තමාගේ කෑම පිණිස ගෙඩි කැඩීමට ගස් නමා දීම නො කළ යුතු ය. කැපූ ගස්වල අතුපැළවෙන ඒවා නම් බීජගාමයට අයත් ය. ඒවා විකෝපනයෙන් දුකුළා ඇවැත් වේ. තණ ඉදිරී යන පරිදි බිඳී යන පරිදි ඇමදීමෙන් හා තණමත ඇවිදීමෙන් ද දික් තණපත්වලට හානි වන පරිදි එකතු කොට ගැට ගැසීමෙන් ද ඇවැත් වේ.

මේ සිකපදය පනවා ඇත්තේ ගස්වැල් කැපීම ඉදිරීම පාපයක් නිසා නො වේ. ගස්වැල් ද එක්තරා සත්ත්ව කොට්ඨාසයක්ය යන හැඟීම ඇති මිනිස්සු වෙති. ඔවුහු භික්ෂූන් ගස්වැල් කපනු උදුරනු දක්නා කල්හි මේ භික්ෂූහු ඒකින්ද්‍රිය ප්‍රාණීන් නසත්ය යි භික්ෂූන් කෙරෙහි කලකිරෙති. භික්ෂූන්ට ගර්හා කොට පව් සිදු කර ගනිති. මේ සිකපදය පනවන ලද්දේ ඒ නිසා ය. ඉවත් කළ යුතු තණ හා ගස්වැල් ඉවත් කරගත නො හැකිවීම නිසා මේ සිකපදයෙන් භික්ෂූන්ට කරදරයක් විය. භික්ෂූන්ට ඒ කරදරයෙන් මිදීම පිණිස සිකපදයත් රකිමින් ඒවාත් සිදු කර ගැනීමේ ක්‍ර‍මයක් දැක්වීම් වශයෙන්:-

“අනාපත්ති ඉමං ජාන ඉමං දෙහි ඉමං ආහර ඉමිනා මේ අත්ථො ඉමං කප්පියං කරොහීති භණති.”[221]

යනු වදාළ සේක. මෙයින් අනුපසම්පන්නයන් ලවා කප්පිය ව්‍යවහාරයෙන් තණ ආදිය ඉවත් කරවා ගැනීමට ඉඩ සලසා ඇත්තේ ය. කෙළින් ම මෙතැන උදලු ගාන්නය, මේ ගස කපන්නය, මේ වැල කපන්නය යි නො කියා තණ ඉවත් කරවා ගැනීම සඳහා ගස්වැල් ඉවත් කරවා ගැනීම සඳහා මේ තණවලින් අවහිරයක් ඇති බව දැන ගන්නය, මේ ගසින් මේ වැලෙන් අවහිරයක් ඇති බව දැන ගන්නය, මේ ගස මෙතැනට වුවමනා නැති බව දැන ගන්නය යි කීමෙන් ඇවැත් නො වේ. එසේ කී කල්හි නුවණැති සාමණේරාදීහු ඒ තණ ඉවත් කරති. ගස්වැල් ඉවත් කරති. මෙය දැන ගන්නය යි කීම කප්පිය ව්‍යවහාර බැවින් එසේ කියා ඒවා කරවා ගැනීමෙන් ඇවතින් මිදේ. ගසක වැලක කොළ ගෙඩි හෝ මල් හෝ වුවමනා විටෙක අනුපසම්පන්නයකුට මෙය දෙන්නය කියා හෝ ගෙනෙන්නය කියා හෝ මෙය මට වුවමනාය කියා හෝ මෙය කප්පියං කරන්නය කියා හෝ කී කල්හි අනුපසම්පන්නයා නුවණැත්තේ නම් භික්ෂුවගේ වුවමනාව ඉටු කරයි. එසේ කීම කප්පිය ව්‍යවහාරය ය. කප්පිය ව්‍යවහාරයෙන් වුවමනා දෙය කරවා ගැනීමෙන් ඇවැත් නො වේ.

කප්පියං කිරීම.

මේ සිකපදය නිසා භික්ෂූන්ට පළතුරු වැළඳීමට හා මිරිස් ඇට ආදි බීජයන් මිශ්‍ර‍ ආහාරය වැළඳීමටත් අවහිරයක් වෙයි. සිකපදය තිබිය දී ඒ අවහිරය නැති කිරීම පිණිස කප්පියං කිරීම අනුදැන වදාළ සේක. ඒ මෙසේ ය :-

“අනුජානාමි භික්ඛවෙ, පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං, අග්ගිපරිචිතං සත්ථපරිචිතං නඛපරිචිතං අබීජං නිබ්බට්ටබීජඤ්ඤේව පඤ්චමං. අනුජානාමි භික්ඛවෙ, ඉමෙහි පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං.”[222]

ගින්නෙන් ස්පර්ශ කරන ලද්දය, ආයුධයෙන් කැපීම හෝ විදීම කරන ලද්දය, නියෙන් කැපීම හෝ විදීම කරන ලද්දය, බීජ නො වූ ඵලය ය, බීජය උපුටන ලද ඵලය ය යන මේ පඤ්චප්‍ර‍කාර වූ ශ්‍ර‍මණයන්ට කැප වූ ව්‍යවහාරයන් කරණකොට ඵල පරිභෝග කිරීමට අනුදනිමිය යනු එහි තේරුම ය.

“අබීජ” යනු මෝරා බීජභාවයට නො පැමිණි ඵලයෝ ය. නිබ්බට්ටබීජ යනු අඹ කොස් ආදි ඵලවල බීජයෙන් වෙන් කළ මස ය. ඒවා ස්වභාවයෙන් ම කැප ය. කප්පියං කරවා ගත යුත්තේ බීජ ය. ගිනි ආයුධ නිය යන තුනෙන් ම කප්පියං කිරීම සුදුසු ය. ගින්නෙන් කප්පියං කරන විට භික්ෂුව විසින් “කප්පියං කරෝහි” යි කී කල්හි අනුපසම්පන්නයා විසින් “කප්පියං”යි කියා හෝ “කප්පියං භන්තේ” යි කියා හෝ ගිනි අඟුරකින් හෝ ගිනියම් කළ ලෝහ කැබැල්ලකින් හෝ කප්පියං කරන වස්තුව ස්පර්ශ කළ යුතුය. ගිනි අඟුරක් හෝ ගිනියම් කළ ලෝහ කැබැල්ලක් හෝ කප්පියං කරන වස්තුවේ එක් තැනකට තැබිය යුතු ය. එසේ කප්පියං කළ දෙය වැළඳීමෙන් ඇවැත් නො වේ. මේ කප්පියං කිරීම යම්කිසි බීජයක වැඩෙන බව නැති කිරීමක් නො ව විනය කර්මයක් බව දත යුතු ය. ආයුධයෙන් කප්පියං කිරීමේදී භික්ෂුව විසින් “කප්පියං කරෝහි” යි කී කල්හි අනුපසම්පන්නයා විසින් “කප්පියං භන්තෙ” යි කියා කප්පියං කරන වස්තුවේ යම්කිසි තැනක් කැපීම හෝ විදීම කළ යුතුය. නියෙන් කප්පියං කරන්නේ ද එසේම ය. නියෙන් කප්පියං කරන කල්හි තියුණු නියකින් කප්පියං කළ යුතු බව දක්වා තිබේ. නො කැපෙන නො විදෙන නො තියුණු නිය කප්පියං කිරීමට නුසුදුසු ය. ගවාදීන්ගේ කුරවලින් කප්පියං කළ ද ඒවා නො තියුණු බැවින් කප්පියං කිරීම සිදු නො වේ. තියුණු වුවද ලීයකින් හෝ ගලකින් හෝ කප්පියං කළ ද එය සිද්ධියට නො පැමිණේ. එකින් එක ගැටී ඇති වස්තු රාශියක එකක් කප්පියං කිරීමෙන් සියල්ල ම කප්පියං වේ. උක්ගස් හා වෙනත් ලී ද එක්කොට බඳනා ලද මිටියෙහි උක් කප්පියං කරමියි අන් ලීයක් කැපුව ද සියල්ල කප්පියං කරන ලද්දේ වේ. බතට මිශ්‍ර‍ කර ඇති මිරිස් ඇට ආදිය කප්පියං කිරීමේදී “කප්පියං භන්තෙ”යි කියා බත් ඇටයත් විදින ලද්දේ ද සියල්ල කප්පියං කළේ වේ. කැඳක ඇති ඇට වර්ග එකට බැඳී නැති බැවින් එකතු කොට කප්පියං කළ යුතු ය. කටුවෙන් ගැළවී කටුව තුළ එහා මෙහා යන ඵල කප්පියං කිරීමේදී කටුව බිඳ කප්පියං කළ යුතු ය. මදය කටුව හා බැඳී ඇති ඵලයේ කටුව කැපීමෙන් ම කප්පියං කිරීම සිදුවේ. කප්පියං කොට තුබූ ඉඟුරු ආදියෙහි මුල් කොළ හටගත හොත් ඒවා නැවත කප්පියං කරවා ගත යුතු ය.

ගෝලයන් තැනීම

උපාධ්‍යාය වී සාමණේරයන් තැනීම, උපාධ්‍යාය වී ගෝලයන් උපසම්පදා කිරීම, නිස දීම යන මේවාට සියලු ම භික්ෂූහු සුදුස්සෝ නො වෙති. නුසුදුස්සන්ට ඒවා කිරීමෙන් ඇවැත් වේ. උපසම්පදාවෙන් එක් වසක් ඇති වංගන්තපුත්‍ර‍ උපසේන භික්ෂුව ගෝලයකු උපසම්පදා කරගෙන වස් වැස දෙවස් ඇතියකු වී ගෝලයා ද සමග බුදුරදුන් දක්නට ගියේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපසේන භික්ෂුව හා පිළිසඳර කථා කොට, “මහණ, නුඹට කොතෙක් වස් ඇත්තේ දැ” යි වදාළහ. “ස්වාමීනි, මම දෙවස් ඇත්තෙමි” යි උපසේන භික්ෂුව කීය. මේ භික්ෂුව කොතෙක් වස් ඇත්තේ දැ යි විචාළහ. “ස්වාමීනි, එක් වසක් ඇත්තේය” යි සැල කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මේ මහණ නුඹට කවරෙක් වේ දැ” යි විචාළහ. උපසේන භික්ෂු තෙමේ, “ස්වාමීනි, මේ මහණ මාගේ සද්ධිවිහාරිකයෙකැ”යි සැල කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ -

“අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථඤ්හි නාම ත්වං මොඝපුරිස අඤ්ඤෙහි ඔවදියො අනුසාසියො අඤ්ඤං ඔවදිතුං අනුසාසිතුං මඤ්ඤිස්සසි.”[223]

යනුවෙන්, හිස් පුරුෂය, නුඹ අන්‍යයන්ගේ අවවාදානුශාසන ලැබිය යුතු නවකයකුව සිට මෙසේ අන්‍යයන්ට අවවාද කිරීමට අනුශාසනා කිරීමට සිතීම ශ්‍ර‍මණධර්මයට අනුකූල නො වේය, සුදුසු නො වේය, ශ්‍ර‍මණයන්ට යෝග්‍ය නො වේය, කැප නො වේය, කළ යුත්තක් නො වේය, යනාදීන් උපසේන භික්ෂුවට ගර්හා කොට දැහැමි කථාවක් කොට භික්ෂූන් අමතා:

“න භික්ඛවෙ ඌන දසවස්සෙන උපසම්පාදෙතබ්බො, යා උපසම්පාදෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

යනු වදාළ සේක. “මහණෙනි, දසයකට අඩු වස් ඇතියකු විසින් උපාධ්‍යාය වී උපසම්පදා නො කළ යුතු ය. යම් මහණෙක් උපසම්පදා කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේය” යනු එහි තේරුම ය. එකල්හි දවසස් ඇති බාල වූ අව්‍යක්ත වූ භික්ෂූහු ගෝලයන් උපසම්පදා කළහ. බාල වූ උපාධ්‍යායන්ට පණ්ඩිත සද්ධිවිහාරිකයෝ වූහ. අව්‍යක්ත උපාධ්‍යායයන්ට ව්‍යක්ත සද්ධිවිහාරිකයෝ වූහ. අල්පශ්‍රැත උපාධ්‍යායන්ට බහුශ්‍රැත සද්ධිවිහාරිකයෝ වූහ. දුශ්ප්‍රාඥ උපාධ්‍යායයන්ට ප්‍ර‍ඥාවත් සද්ධිවිහාරිකයෝ වූහ. ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළ කල්හි ඒ බාල අව්‍යක්ත උපාධ්‍යායයන්ට ගර්හා කොට භික්ෂූන් අමතා දැහැමි කථාවක් කොට :-

“න භික්ඛවෙ බාලෙන අබ්‍යත්තෙන උපසම්පාදෙතබ්බො, යො උපසම්පාදෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ බ්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙක දසවස්සෙන වා උපසම්පාදෙතුං.”[224]

යනු වදාළ සේක. “මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ භික්ෂුව විසින් උපාධ්‍යාය වී උපසම්පදා නො කළ යුතුය. යම් මහණෙක් උපසම්පදා කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, දසවස් ඇත්තා වූ ද දසයකට අධික වස් ඇත්තා වූ ද ව්‍යක්ත වූ ගෝලයන් තැනීමට සමත් වූ භික්ෂුව විසින් උපසම්පදා කිරීමට අනුදනිමිය” යනු එහි තේරුමය.

“න භික්ඛවෙ බාලෙන අඛ්‍යත්තෙන නිස්සයො දාතබ්බො, යො දදෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ බ්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙක දසවස්සෙන වා නිස්සයං දාතුං.”[225]

මෙසේ වදාරා ඇති බැවින් දසවස් නො වූ අව්‍යක්ත භික්ෂුව විසින් නිස දීම ද නො කළ යුතු ය. සාමණේරයන්ට ද උපාධ්‍යාය නො දිය යුතු ය. උපාධ්‍යායාචාර්‍ය්‍ය වීමට නිශ්‍ර‍යාචාර්‍ය්‍යවීමට සුදුසු ව්‍යක්ත භික්ෂුවගේ අංග විනය අටුවාවෙහි මෙසේ දක්වා ඇත.

උපසම්පදා වී දසවසක් හෝ වැඩි ගණනක් හෝ වස් ඇතියකු වීම, පිරිස විනයෙන් හික්මවිය හැකිවීම පිණිස යටත් පිරිසෙයින් භික්ෂු භික්ෂුණී විභංග දෙක පාඩම් තිබීම (හොඳට ම පාඩම් නැත ද තිදෙනෙකු එකතු වී කිය හැකි තරමට වුව ද පාඩම් තිබීම ප්‍ර‍මාණවත් බව කියා ඇත.) කර්මාකර්ම හා වත්තක්ඛන්ධකය දැනීම, පිරිසට ධර්මය කියාදිය හැකිවීමට මජ්ඣිම නිකායෙන් මූලපණ්ණාසකය හෝ දීඝනිකායේ මහා වග්ගය හෝ සංයුක්තනිකායේ මහාවග්ගය හෝ යට වර්ග තුන හෝ අංගුත්තර නිකායෙන් බාගයක් හෝ තිකනිපාතයෙන් යට කොටස හෝ අටුවා සහිත ජාතක පොත හෝ කථාවස්තූන් සහිත ධම්මපදය හෝ උගෙන තිබීම යන මේවා නිශ්‍ර‍යාචාර්‍ය්‍ය උපාධ්‍යායාචාර්‍ය්‍යයකු වීමට තිබිය යුතු අංගයෝය. අභිධර්මයෙන් යම් කිසි කොටසක් දැන සිටිය යුතු බව කියා නැත. එබැවින් අටුවා සහිත විනය අභිධර්ම පිටක දෙක ප්‍ර‍ගුණ කර ඇත ද සූත්‍ර‍ පිටකයෙන් ග්‍ර‍න්ථයක් ප්‍ර‍ගුණ කර නැති භික්ෂුව ආචාර්‍ය්‍යත්වයට ප්‍ර‍මාණ නො වන බව කියා ඇත. කියන ලද අංග සම්පූර්ණ වූ දසවස් ඇති ස්ථවිර භික්ෂුව “පරිසූපස්ථායක බහුශ්‍රැත” නම් වේ. ඒ භික්ෂුවට අන් ගුරුවරයෙක් ඇසුරු නො කොට කැමති තැනකට යමින් කැමති තැනක වෙසෙමින් පිරිස් පරිහරය කළ හැකි ය. පරිසූපස්ථායක භික්ෂුවගේ අංග විනයවිනිශ්චයෙහි මෙසේ සැකෙවින් දක්වා ඇත.

“වාචුග්ගතා විභංගා ද්වෙ - පගුණා ව්‍යඤ්ජනාදිතො

චතූසුපි නිකායෙසු - එකො වා පොත්ථකො පි ච,

කම්මාකම්මඤ්ච වත්තානි - උග්ගහෙතබ්බමෙත්තකං,

සබ්බන්තිමපරිච්ඡෙදා - දසවස්සො සචෙ පන,

බහුස්සුතො දිසාමොක්ඛො - යෙන කාමංගමො සියා,

පරිසං ලභතෙ කාමං - උපට්ඨාපෙතුමිස්සරො.”[226]

මෙකල උපාධ්‍යාය සම්මුති දීමක් කෙරෙති. තනතුරක් වශයෙන් උපාධ්‍යායත්වයක් දෙති. එසේ කළ යුතු බවක් විනයෙහි සඳහන් නො වේ. සම්මුතියක් ලදත් නො ලදත් ඉහත දැක් වූ පරිසූපස්ථායක බහුශ්‍රැතාංග ඇති ස්ථවිර තෙමේ උපාධ්‍යායත්වයට සුදුස්සෙකි. ඒ අංගයන්ගෙන් යුක්ත නො වන භික්ෂුව උපාධ්‍යාය සම්මුතිය ලදත් උපාධ්‍යාය තනතුර ලදත් උපාධ්‍යායයෙක් නො වේ.

උපාධ්‍යාය ගැනීම.

නවක පැවිද්දන්ට මේ වරදය, මේ නිවරදය, මේ කුඩා වරදය, මේ මහා වරදය, මේ කළ යුත්තය, මේ නො කළ යුත්තය යි නො දැනේ. එබැවින් ඔවුන් අතින් බොහෝ වරද සිදුවිය හැකිය. ඔවුන් ශාසනයෙන් පිරිහී යා හැකි ය. නවක පැවිද්දන්ට මේ ශාසනයෙහි දියුණු විය හැකි වීමට නවකයා ගැන නිතර සොයන බලන, වරද කියා දෙන, වරදට නො පැමිණෙන පරිදි නවකයා ආරක්ෂා කරන, එසේ ම නවකයාගේ අඩුපාඩු සොයා බලා ඒවා සපයා දෙන, සපයාදීමට උත්සාහ කරන, නවකයා දියුණු කිරීමට උත්සාහ කරන, දරුවකුට පියකු මෙන් නවකයාට හිතවත් ආචාර්‍ය්‍යයකු සිටිය යුතුය. එබඳු ආචාර්‍ය්‍යවරයකු පැවිද්දා විසින් සොයා ගත යුතු ය. ශාසනයෙහි උපාධ්‍යායාචාර්‍ය්‍යය යි කියනුයේ ඒ ආචාර්‍ය්‍යවරයාට ය. සියලු ම නවක පැවිද්දන් විසින් යම්කිසි සුදුසු ස්ථවිර නමක් උපාධ්‍යාය කරගෙන විසිය යුතුය. එය විනය නීතියකි. උපාධ්‍යායයකු නැතියකු උපසම්පදා කිරීම ද ප්‍ර‍තික්ෂිප්තය.

“අනුජානාමි භික්ඛවෙ, උපජ්ඣායං, උපජ්ඣායො භික්ඛවෙ, සද්ධිවිහාරිකම්හි පුත්තචිත්තං උපට්ඨපෙස්සති, සද්ධිවිහාරිකො උපජ්ජායම්හි පිතුචිත්තං උපට්ඨපෙස්සති, එවං තෙ අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පතිස්සා සභාගවුත්තිනො විහරන්තා ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධි විරූල්හිං වෙපුල්ලං ආපජ්ජිස්සන්ති.”[227]

‍එහි තේරුම මෙසේය:- “මහණෙනි, උපාධ්‍යායයකු, ගැනීමට අනුදනිමි. මහණෙනි, උපාධ්‍යායයා සද්ධිවිහාරිකයා කෙරෙහි (ශිෂ්‍යයා කෙරෙහි) මොහු මාගේ පුතෙක යන සිත පිහිටුවා ගන්නේ ය. සද්ධිවිහාරිකයා ද උපාධ්‍යායාචාර්‍ය්‍යයා කෙරෙහි මුන් වහන්සේ මාගේ පියෙක යන සිත පිහිටුවා ගන්නේ ය. මෙසේ ඔවුහු ඔවුනොවුන් කෙරෙහි ගෞරව ඇත්තාහු අවවාදයට ඇහුම්කන් දෙන්නාහු සමාන පැවතුම් ඇත්තාහු මේ ධර්මවිනයෙහි දියුණුවට පැමිණෙන්නාහු ය.”

උපාධ්‍යායයා ගත යුත්තේ මෙසේය:- උත්තරාසංගය ඒකාංස කොට පෙරවා උපාධ්‍යාය කර ගන්නා ස්ථවිරයන් වහන්සේගේ පා වැඳ උක්කුටිකව හිඳ “උපජ්ඣායො මෙ භන්තෙ හොහි” යි කිය යුතු ය. ඒ ඉල්ලීම ස්ථවිර භික්ෂුව පිළිගන්නේ නම් “සාහු” කියා හෝ “ලහු” කියා හෝ “ඔපායිකං” කියා හෝ “පතිරූපං” කියා හෝ “පාසාදිකෙන සම්පාදෙහි කියා හෝ කියනු ඇත. කයින් හෝ ඒ අදහස අඟවනු ඇත. ස්ථවිරයන් වහන්සේ එසේ කෙළේ නම් නවකයා උපාධ්‍යායයා ගන්නේ ලද්දේ වේ. ස්ථවිර භික්ෂුව එසේ නො කරන ලද්දේ නම් උපාධ්‍යායයා නො ගන්නා ලද්දේ වේ. උපාධ්‍යාය ගත් නවකයා සද්ධිවිහාරික නම් වේ. උපාධ්‍යාය ගැනීමෙන් පසු සද්ධිවිහාරිකයා විසින් “මේ තෙරුන් වහ්නසේ මට භාරය, මම ද මේ තෙරුන් වහන්සේට භාරය” යි සැලකිය යුතු ය.

“න භික්ඛවෙ, සද්ධිවිහාරිකෙන උපජ්ඣායම්හි න සම්මා වත්තිතබ්බං, යො න සම්මා වත්තෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[228]

මහණෙනි, සද්ධිවිහාරිකයා විසින් උපාධ්‍යායා කෙරෙහි නො මනා පරිදි නො පැවතිය යුතු ය. යමෙක් නො මනා පරිදි පවතින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

සද්ධිවිහාරිකයා විසින් තමාගේ උපාධ්‍යායයන් වහන්සේට කළ යුතු වත් ඇත්තේ ය. ඒවා නො පිරිහෙළා කිරීම උපාධ්‍යායයන් වහන්සේ කෙරෙහි මැනවින් පැවතීම ය. ඒවා නො කර හැරීම නො මනා කොට පැවතීම ය. උපාධ්‍යාය වත ශාසනාවතරණයෙහි[229] සැකෙවින් දක්වා ඇත. මහාවග්ග පාළියේ මහාඛන්ධකයෙන් හා චුල්ලවග්ග පාළියේ වත්තක්ඛන්ධකයෙන් ද එය විස්තර වශයෙන් දත හැකිය. එක් උපාධ්‍යාය කෙනකුට බොහෝ සද්ධිවිහාරිකයන් විය හැකි ය. උපාධ්‍යාචාර්‍ය්‍යවරයා වත් බලාපොරොත්තු වේ නම් නො කරන සැමට ම ඇවැත් වේ. ඉදින් උපාධ්‍යායයා “මාහට වත් කරන්නෝ ඇත, ආයුෂ්මත්හු තමන්ගේ කටයුතු බලාගනිත්වා” යි කියා නම් වත් නො කිරීමෙන් ඇවැත් නො වේ. නුවණැති උපාධ්‍යායයෝ එසේ සද්ධිවිහාරිකයන්ට නිදහස දී ඔවුන් ඇවතින් මුදවති. එක් සද්ධිවිහාරිකයෙක් උපාධ්‍යාය වත සම්පූර්ණයෙන් බාරගෙන මම උපාධ්‍යායයන් වහන්සේගේ වත් කරමිය ආයුෂ්මත්හු තම තමන්ගේ කටයුතු කර ගනිත්වා යි කියන්නේ නම් එසේ වත් බාර ගැනීමෙන් පසු නො කිරීමෙන් සෙස්සන්ට ඇවැත් නො වේ.

උපාධ්‍යායයා විසින් පැවතිය යුතු ආකාරය.

“උපජ්ඣායෙන භික්ඛවෙ සද්ධිවිහාරිකම්හි සම්මා වත්තිතබ්බං.” යනුවෙන් උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයා කෙරෙහි මැනවින් පැවතිය යුතුයයි වදාරා ඇති බැවින් සද්ධිවිහාරිකයා ගැන සැලකිල්ලක් නැතිව වෙසෙන උපාධ්‍යායයන්හට ද එයින් ඇවැත් වේ. උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාට කළ යුතු වත් කොටසක් ද ඇත්තේ ය. ඒවා ද ශාසනාවතරණයෙහි[230] සැකෙවින් දක්වා ඇත. මහාඛන්ධකයෙන් හා වත්තක් ඛන්ධකයෙන් ඒවා විස්තර වශයෙන් දත හැකිය. සද්ධිවිහාරිකයා කෙරෙහි මැනවින් පැවතීමය යනු ඒ වත් සම්පූර්ණ කිරීම ය.

“උපජ්ඣායෙන භික්ඛවෙ, සද්ධිවිහාරිකො සංගහෙතබ්බො අනුග්ගහෙතබ්බො උද්දෙසෙන පරිපුච්ඡාය ඔවාදෙන අනුසාසනියා.”[231]

මහණෙනි, උපාධ්‍යායයා විසින් පාළිය උගැන්වීමෙන් පාළියේ අර්ථය උගැන්වීමෙන් අවවාදයෙන් අනුශාසනයෙන් සද්ධිවිහාරිකයාට සංග්‍ර‍හ කළ යුතුය, අනුග්‍ර‍හ කළයුතුය”යි වදාරා ඇති බැවින් සද්ධිවිහාරිකයාට පාළිය හා අර්ථය උගැන්වීම උපාධ්‍යායයා අයත් ය. සද්ධිවිහාරිකයන් පිරිවෙන්වලට විශ්වවිද්‍යාලවලට යවා නොයෙක් දේ උගන්වා විභාගවලින් සමත් කරවීම උපාධි ලබාදීම උපාධ්‍යායයන්ට අයත් කාර්‍ය්‍යයක් නො වේ. සද්ධිවිහාරිකයන් තැන තැන නො යවා ඔවුනට දතමනා ධර්ම විනය උගන්වා දීමට නො සමත් ස්ථවිරයෝ උපාධ්‍යායත්වයට සුදුස්සෝ නො වෙති. වර්තමාන භික්ෂූන් බොහෝ දුරට ප්‍ර‍තිපත්තියෙන් පිරිහී ඇත්තේ සද්ධිවිහාරිකයන්ට උගැන්වීමට නො සමත් උපාධ්‍යායාංග සම්පූර්ණ නැති අව්‍යක්ත භික්ෂූන් ශිෂ්‍යයන් පැවිදි කොට උපසම්පදා කොට උගන්වන්නය කියා ඔවුන් තැන තැන යැවීමට පුරුදු වීම නිසා ය. මෙකල එය නො වැළැක්විය හැකි තත්ත්වයට පත්වී ඇත. නො හික්මෙන සද්ධිවිහාරිකයන් උපාධ්‍යායයන් විසින් බැහැර කළ යුතු ය. “අනුජානාමි භික්ඛවෙ, අසම්මා වත්තන්තං පණාමෙතුං.”[232] යනුවෙන් නො හික්මෙන සද්ධිවිහාරිකයන් බැහැර කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත්තේය.

“පඤ්චහි භික්ඛවෙ අංගෙහි සමන්නාගතො සද්ධිවිහාරිකො පණාමෙතබ්බො. උපජ්ඣායම්හි නාධිමත්තං පෙමං හොති, නාධිමත්තො පසාදො හොති, නාධිමත්තා හිරී හොති, නාධිමත්තො ගාරවො හොති, නාධිමත්තා භාවනා හොති, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහංගෙහි සමන්නාගතො සද්ධිවිහාරිකො පණාමෙතබ්බො.”[233]

“මහණෙනි, පඤ්චාංගයකින් යුක්ත වන සද්ධිවිහාරිකයා බැහැර කළයුතු ය. උපාධ්‍යායයා කෙරෙහි අධික ප්‍රේමය නැත්තේ වේ ද, අධික ප්‍ර‍සාදය නැත්තේ වේ ද, අධික ලජ්ජාව නැත්තේ වේ ද, අධික ගෞරවය නැත්තේ වේද, අධික මෙත් වැඩීම නැත්තේ වේ ද, මහණෙනි, මේ පඤ්චාංගයෙන් යුක්ත වන සද්ධිවිහාරිකයා බැහැර කළ යුතු ය.”

නො හික්මෙන්නා වූ සද්ධිවිහාරිකයාහට උපාධ්‍යායයා විසින් “තා බැහැර කරමි” යි හෝ “නුඹ මා වෙත නො එව” යි හෝ “නුඹේ පා සිවුරු ගෙන යන්නය” යි හෝ “මා හට උපස්ථාන නො කරව” යි හෝ කිය යුතු ය. එසේ කීම හෝ ඒ අදහස කයින් ඇඟවීම හෝ බැහැර කිරීම ය. උපාධ්‍යායයා විසින් බැහැර කරන ලද සද්ධිවිහාරිකයා විසින් උපාධ්‍යායයා ක්ෂමා කරවා ගෙන නැවත කීකරුව විසිය යුතු ය.

“න භික්ඛවෙ පණාමිතෙන න ඛමාපෙතබ්බො, යො න ඛමාපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, උපාධ්‍යායයා විසින් බැහැර කරන ලද්දහු විසින් ක්ෂමා කරවා ගත යුතු ය. යමෙක් ක්ෂමා නො කරවන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. සද්ධිවිහාරිකයා ක්ෂමා කරවන කල්හි උපාධ්‍යායයා ක්ෂමා විය යුතු ය. ක්ෂමා නො වන්නේ නම් උපාධ්‍යායයාහට ද දුකුළා ඇවැත් වේ නො හික්මෙන සද්ධි විහාරිකයන් බැහැර නො කිරීමෙන් ද, අනුන්ගේ කේලාම් ඇසීම් ආදියෙන් මැනවින් හැසිරෙන සද්ධිවිහාරිකයන් බැහැර කිරීමෙන් ද උපාධ්‍යායයන්ට ඇවැත් වේ.

නිස ගැනීම.

උපාධ්‍යාය ගැනීමය යන්නෙහි තේරුම අවවාදානුශාසනා ලබමින් ඇසුරු කෙරෙමින් සමීපයෙහි වෙසෙන්නට යම්කිසි මහතෙර කෙනකුගෙන් අවසර ලබා ගැනීම ය. උපාධ්‍යාය දීම යන්නෙහි තේරුම යම්කිසිවකුට තමාගෙන් අවවාදානුශාසනා ලබමින් ඇසුරු කෙරෙමින් සමීපයේ විසීමට අවසර දීම ය. සද්ධිවිහාරිකයාගේ උපාධ්‍යායාචාර්‍ය්‍යවරයා ඇසුරු කරමින් වෙසෙන ස්වභාවය නිස්සය (නිස) නම් වේ. ඒ නිස සැම කල්හි ම නො පවතී. උපාධ්‍යායයාචාර්‍ය්‍යවරයා විහාරයෙන් බැහැර වී යාම් ආදි කරුණුවලින් නිස සන්සිඳෙයි. නැති වී ය යි.

“අනුජානාමි භික්ඛවෙ බ්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන පඤ්ච වස්සානි නිස්සාය වත්ථුං අබ්‍යත්තෙන යාවජීවං.”[234]

යනුවෙන් ව්‍යක්ත වූ ප්‍ර‍තිබල වූ භික්ෂුව විසින් පස්වසක් ආචාර්‍ය්‍යයකු ඇසුරු කෙරෙමින් වාසය කරන්නටත් අව්‍යක්ත භික්ෂුව විසින් දිවිහිමියෙන් ආචාර්‍ය්‍යවරයකු ඇසුරෙහි විසීමටත් අනුදැන වදාරා ඇත්තේය. එබැවින් උපසම්පදාවෙන් පස්වසක් නො වූ භික්ෂුව විසින් ආචාර්‍ය්‍යවරයකුගෙන් වෙන්ව වාසය නො කළ යුතුය. අව්‍යක්ත භික්ෂුව විසින් දිවිහිමියෙන් ආචාර්‍ය්‍යවරයකු ඇසුරු කරමින් විසිය යුතු ය. නිශ්‍ර‍යමුඤ්චනකාංගයන් අපරිපූර්ණ භික්ෂුවට ආචාර්‍ය්‍යවරයා ගෙන් වෙන්ව විසීමෙන් ඇවැත් වේ. නිශ්‍ර‍යමුඤ්චනකාංගයන් සම්පූර්ණ වූ භික්ෂුවට ගුරුවරයාගෙන් වෙන් ව රිසි සේ විසීමෙන් ඇවැත් නො වේ.

නිශ්‍ර‍ය මුක්තකාංග.

නිසෙන් මිදී රිසි සේ වාසය කිරීමට සුදුසු භික්ෂුවක් වීමේ අංග මෙසේය:- උපසම්පදාවෙන් පස්වසක් වීම, ප්‍රාතිමෝක්ෂ දෙක පාඩම් තිබීම, පොහෝදිනයන්හි දහම් දෙසීම සඳහා සූත්‍ර‍ පිටකයෙන් බණවර සතරක් පුහුණු කරගෙන තිබීම, පැමිණියවුන්ට කීම පිණිස අන්ධකවින්ද අම්බට්ඨරාහුලෝවාද කථා වැනි එක් කථාවක් දැන ගැනීම, සාංඝිකදාන මංගලාවමංගලයන්හි අනුමෝදනා පිණිස අනුමෝදනා තුනක් දැනීම, උපෝසථපවාරණාදිය කළ හැකි වනු පිණිස කර්මාකර්මවිනිශ්චය දැන ගැනීම, ශ්‍ර‍මණධර්මය පිරීම පිණිස අර්හත්වයෙන් කෙළවර වන භාවනාමාර්ගයක් දැන ගැනීම යන මේවා නිශ්‍ර‍යමුඤ්චනකාංගයෝ ය. මේ අංගයන්ගෙන් යුක්ත භික්ෂුව “නිශ්‍ර‍යමුක්ත බහුශ්‍රැත” නම් වේ. ඔහුට ගුරුවරයකු ඇසුරු නො කරමින් රිසි සේ රිසි තැනක විසීමෙන් ඇවැත් නො වේ.

සූත්‍ර‍පිටකයෙන් උගත යුතු බණවර සතර නොයෙක් පොත්වලින් හෝ එක පොතකින් ම හෝ උගෙනීම සුදුසු ය. සෑම කරුණකට ම සෑහෙන ධර්ම එක පොතක එක තැනක නැති බැවින් වුවමනා ධර්ම නොයෙක් පොත්වලින් ගෙන බණවර සතරක් උගෙනීම වඩා යහපත් ය. දැනට මහපිරිත්පොතය යි ව්‍යවහාර කරන පොතේ නියම නාමය චතුභාණවාරපාළිය යනුයි. එය සූත්‍ර‍පිටකයේ පොත්වලින් ගෙන එක්තැන් කළ බණවර සතරෙකි. එය නිශ්‍ර‍යමුක්තක බහුශ්‍රැතයකු වීමට උගත යුතු පාඩම් කරගත යුතු ධර්මවලින් බණවර සතරක් එකතු කොට කරන ලද ග්‍ර‍න්ථයකි. එහි ගිහි පැවිදි කාහටත් ප්‍රයෝජනවත් ධර්ම අන්තර්ගත කොට ඇත්තේ ය. සූත්‍ර‍සංග්‍ර‍හය නමැති ග්‍ර‍න්ථයත් බණවර සතරක සංග්‍ර‍හයකි. එය කර ඇත්තේ ද නිසෙන් මිදීම සඳහා උගෙනීමට ය. බණවර මෙසේ දත යුතුය.

“අට්ඨක්ඛරා එකපදං - එකා ගාථා චතුප්පදං,

ගාථා චෙකා මතො ගන්ථො - ගන්ථො බත්තිංසක්ඛරො.

-

ඛත්තිංසක්ඛරගන්ථානං - පඤ්ඤාසං ද්විසතං පන,

භාණවාරො මතො එකො - අට්ඨක්ඛර සහස්සකො.”[235]

අකුරු අටක් එක් පාදයෙකි. පාද සතරක් එක් ගාථාවෙකි. එය ග්‍ර‍න්ථ නම් ද වේ. ග්‍ර‍න්ථය අකුරු දෙතිසක් වන්නේ ය. අකුරු දෙතිසක් ඇති ග්‍ර‍න්ථ දෙසිය පණසක් එක් බණවරෙකැයි දන්නා ලදී. එය අකුරු අටදහසක් වන්නේ ය යනු ඉහත දැක්වුණු ගාථාවල තේරුම ය.

පාදයකට අකුරු අට බැගින් ඇති ගාථා දෙසිය පණසක් එක් බණවරයෙකි. එපමණ වචන හා අකුරු ඇති ගාථා නො වන දහම් කොටස ද එක් බණවරයෙකි. චතුභාණවාරපාළි, සූත්‍ර‍සංග්‍ර‍හ යන පෝතවල ගද්‍ය පද්‍ය මිශ්‍ර‍ වශයෙන් බණවර සතර බැගින් සංග්‍ර‍හ කොට ඇත්තේය.

අන්ධකවින්ද යන නම ඇති සූත්‍ර‍යක් බ්‍ර‍හ්ම සංයුත්තයේ ඇත්තේ ය. අංගුත්තරනිකාය පඤ්චක නිපාත තතියපණ්ණාසකයේ අන්ධකවින්දවග්ගයේ ද ඒ නමින් සූත්‍ර‍යක් ඇත්තේ ය. ඒවායේ දක්වා ඇත්තේ ශ්‍ර‍මණ ප්‍ර‍තිපත්ති ය. අම්බට්ඨ නමින් සූත්‍ර‍යක් දීඝ නිකායේ ඇත. එහි සඳහන් වන්නේ අම්බට්ඨ නමැති තරුණ බමුණකු බුදුරදුන් හා කළ වාදයකි. රාහුලෝවාද නාමයෙන් මජ්ඣිමනිකායේ සූත්‍ර‍ තුනක් ඇත්තේ ය. එක් කථාමාර්ගයක් දැන සිටීම නිස මිදීමට ප්‍ර‍මාණ වුව ද සැමදා ම එක ම කථාව කීම නුසුදුසු බැවින් භික්ෂුවකට කථා ගණනක් දැන සිටීම සුදුසු ය.

අනුමෝදනාව යනු පින්කමක් කළ ගිහියන්ට සතුටු වීම පිණිස කරන ධර්මකථාව ය. සාංඝික දානාදියෙහි අනුමෝදනා පිණිස දානාදීන්ගේ අනුසස් දැක්වෙන නිධිකණ්ඩ දක්ෂිණාවිභංගාදි සූත්‍ර‍ ධර්ම උගත යුතු ය. විහාරමංගල ගෙහප්පවේසමංගලාදියෙහි අනුමෝදනාවට මංගලසූත්‍රාදිය දැන ගැනීම සුදුසු ය. මතකභත්තාදියෙහි අනුමෝදනාවට තිරෝකඩ්ඩසූත්‍රාදිය උගත යුතු ය.

කර්මාකර්ම විනිශ්චය දැන ගැනීමට පරිවාරපාළියේ කර්මවර්ගය උගත යුතු ය. අභිධර්මය ගැන මෙහි කිසිවක් සඳහන් නැත. එහෙත් අර්හත්වයෙන් කෙළවර වන භාවනාවක් උගෙනීමේදී ස්කන්ධාදි ධර්ම විභාග දත යුතු බැවින් අභිධර්මයෙන් ද තරමක් උගත යුතු ය. නිස්සය මුඤ්චනකාංග විනය විනිශ්චයේ මෙසේ දැක්වේ.

“වාචුග්ගතාව කාතබ්බා - පගුණා ද්වෙපි මාතිකා,

සුත්තන්තතො ච චත්තාරො - භාණවාරා පකාසිතා.

-

එකො පරිකථත්ථාය - කථාමග්ගො පකාසිතො,

මංගලාමංගලත්ථාය - තිස්සොයෙවානුමොදනා.

-

උපොසථාදි අත්ථාය - කම්මාකම්ම විනිච්ඡයො,

කම්මට්ඨානං තථා එකං - උත්තමස්ථස්ස පාපකං.

-

එත්තකං උග්ගහෙත්වාන - පඤ්චවස්සො බහුස්සුතො,

මුඤ්චිත්වා නිස්සයං කාමං - වසිතුං ලභතිස්සරො.”[236]

උපාධ්‍යායාචාර්‍ය්‍යයාගෙන් වෙන් වූ අව්‍යක්ත භික්ෂුව විසින් ආචාර්‍ය්‍යත්වයෙන් ඇසුරු කිරීමට සුදුසු අන් මහතෙරනමක් ආචාර්යවරයා වශයෙන් ගත යුතු ය. එසේ කිරීමට නිස ගැනීමය යි කියනු ලැබේ.

නිස ගන්නා භික්ෂුව ව්‍යක්ත බහුශ්‍රැත ස්ථවිරනමක් වෙත එළඹ උත්තරාසංගය ඒකාංස කොට පෙරවා පාවැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ “ආචරියො මෙ භන්තෙ භොහි, ආයස්මතො නිස්සාය වච්ඡාමි” යි මෙසේ තුන් වරක් කිය යුතු ය. එය ආචාර්‍ය්‍යයා වන ලෙස ඉල්ලීම ය. ඉදින් ස්ථවිර භික්ෂුව ඒ ඉල්ලීම පිළිගන්නේ නම් “සාහු, ලහු, ඔපායිකං, පතිරූපං” යන වචනවලින් යම්කිසිවක් හෝ “පාසාදිකෙන සම්පාදෙහි” යි හෝ කිය යුතුය. කයින් හෝ පිළිගත් බව ඇඟවීමක් කළ යුතු ය. එසේ කළ කල්හි නවකයා විසින් නිස ගන්නා ලද්දේ වේ. ස්ථවිර භික්ෂුව විසින් නිස දුන්නේ වෙයි. නිසදුන් ස්ථවිර තෙමේ නිස්සයාචරිය නම් වේ. නිස ගත් නවකයා අන්තේවාසික නම් වේ.

“න භික්ඛවෙ, බාලෙන අබ්‍යත්තෙන නිස්සයො දාතබ්බො, යො දදෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, බ්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙකදසවස්සෙන වා නිස්සයො දාතුං”[237]

යි වදාරා ඇති බැවින් පරිසූපස්ථායක බහුශ්‍රැතත්වයට නො පැමිණි භික්ෂුව විසින් නිස නො දිය යුතු ය. දුන හොත් දුකුළා ඇවැත් වේ. නිස ගත් නවක භික්ෂුව විසින් එතැන් පටන් ඒ ආචාර්‍ය්‍යයාට උපාධ්‍යායචාර්‍ය්‍යයාට කරන වත් සියල්ල කළ යුතු ය.

“න භික්ඛවෙ, අන්තෙවාසිකෙන ආචරියම්හි න සම්මා වත්තිතබ්බං, යො න සම්මාවත්තෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[238]

මෙසේ වදාරා ඇති බැවින් අන්තේවාසිකයා විසින් ආචාර්‍ය්‍යවරයා කෙරෙහි මැනවින් පැවතිය යුතු ය. මැනවින් පැවතීමය යනු උපාධ්‍යායාචාර්‍ය්‍යයන්ට කිරීමට නියමිත වත් සියල්ල ඒ නිශ්‍රායාචාර්‍ය්‍යයාට කිරීම ය. මැනවින් නො පිළිපදන නොහික්මෙන අන්තේවාසිකයා බැහැර කිරීමට ද අනුදැන ඇත්තේ ය.

“න භික්ඛවෙ අලජ්ජීනං නිස්සයො දාතබ්බො, යො දදෙය ආපත්ති දුක්කටස්ස.”[239]

යනු වදාරා ඇති බැවින් අලජ්ජි භික්ෂුවට නිස නො දිය යුතුය. නො හඳුනන භික්ෂුවක් නිස ගැනීමට පැමිණිය හොත් නිස නො දී සතරපස් දිනක් සමීපයෙහි තබා ගෙන ලජ්ජියෙක් ද? නැත ද? කියා විමසා සුදුසු බව හැඟේ නම් නිස දිය යුතු ය. අලජ්ජියකු බව දැන ද අන් ප්‍රයෝජනය සලකා නිස දුන හොත් ආචාර්‍ය්‍යයාට දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ, අලජ්ජීනං නිස්සාය වත්ථබ්බං, යො වසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[240]

මෙසේ වදාරා ඇති බැවින් අලජ්ජි භික්ෂුවගෙන් නිස නො ගත යුතු ය. නිස ගැනීම සඳහා නො හඳුනන තෙර කෙනකු වෙත ගිය භික්ෂුව එහි සතරපස් දිනක් නැවතී විමසා ලජ්ජියෙකැයි හැඟේ නම් නිස ගෙන එහි විසිය යුතු ය. නිස ගන්නට සිටින ස්ථවිර අලජ්ජි පුද්ගලයෙකැයි හැඟේ නම් අනිකකු සොයා යා යුතු ය. අලජ්ජි බව දැන අන් ප්‍රයෝජන සඳහා නිස ගන්නේ නම් දුකුළා ඇවැත් වේ.

“සංචිච්ච ආපත්තිං ආපජ්ජති

ආපත්තිං පරිගූහති

අගතිගමනඤ්ච ගච්ඡති

එදිසො වුච්චති අලජ්ජි පුග්ගලො.”[241]

දැන දැන ඇවතට පැමිණීමය, ඇවැත් සැඟවීමය, අගතියට යාමය යන මේ කරුණු තුන අලජ්ජි ලක්ෂණයෝ ය. එයින් කවරක් හෝ ඇත්තේ අලජ්ජි නම් වේ. දැන දැන ඇවතට පැමිණීමය යනු යම් කිසිවක් කළ හොත් එයින් ඇවතක් වන බව දැනගෙන ම ප්‍ර‍ඥප්තිය ගැන නො සලකා ඒ වරද කිරීම ය. සිත රැක ගන්නට නො හැකිවී වරදක් කොට ඇවතක් වුව හොත් ඒ ඇවත එදින ම දෙසිය යුතු ය. ඇවත දෙසීමට සුදුසු භික්ෂූන් සිටියදී ඇවත දෙසිය හැකි බවත් තිබියදී එදින ම ඇවත නො දෙසීම ආපත්තිය සැඟවීම ය. එසේ ඇවැත් සඟවන භික්ෂුව ඇවත දෙසන තුරු සිටින්නේ අලජ්ජියකු වශයෙනි. පිරිකර බෙදීමේදී තමාගේ අයට හොඳ පිරිකර ලැබෙන සේ ද විරුද්ධ අයට බාල පිරිකර ලැබෙන සේ ද ක්‍රියා කිරීම, ධර්මකථා විනය කථා කිරීමේදී වරද වූ ද තමාගේ කීම ස්ථිර කරන්නටත් නිවරද වූ ද අනුන්නේ කීම යට කරන්නටත් කථා කිරීම යනාදිය අගතියට යාම ය

උපාධ්‍යායාචාර්‍ය්‍ය නිශ්‍ර‍යාචාර්‍ය්‍ය දෙදෙනාගෙන් උපාධ්‍යායාචාර්‍ය්‍යයා ප්‍ර‍ධාන ය. උපාධ්‍යාචාර්‍ය්‍යවරයා විහාරයෙන් බැහැරව සිටින කාලයේදී අන් තෙරනමකගෙන් නිස ගෙන වාසය කරන භික්ෂුවගේ නිස උපාධ්‍යායාචාර්‍ය්‍යවරයා විහාරයට පැමිණීමෙන් සන්සිඳෙයි. ඉන් පසු ඒ භික්ෂුව උපාධ්‍යායයාගේ වත් කෙරෙමින් උපාධ්‍යාචාර්‍ය්‍යයා ඇසුරු කරමින් විසිය යුතු ය. නැවත උපාධ්‍යායයා විහාරයෙන් බැහැර වුවහොත් ඒ භික්ෂුව විසින් නැවත නිස ගත යුතු ය. යම්කිසි භික්ෂුවක් උපාධ්‍යායයා වෙසෙන විහාරයෙන් අන් විහාරයකට ගොස් අන් තෙරනමකගෙන් නිස ගෙන වෙසෙන කල්හි උපාධ්‍යායයා එහි පැමිණිය හොත් එයින් නිස සන්සිඳේ. උපාධ්‍යායයා ඒ විහාරයෙන් ගිය පසු නැවත නිස ගත යුතු ය. අන්තේවාසිකයා විහාරයේ සිටිය දී නිශ්‍ර‍යාචාර්‍ය්‍යයා විහාරයෙන් බැහැර වී ගියේ නම් නිස සන්සිඳේ. ආචාර්‍ය්‍යවරයා නැවත විහාරයට පැමිණි කල්හි නැවත නිස ගත යුතු ය. ආචාර්‍ය්‍යවරයා විහාරයේ සිටියදී සද්ධිවිහාරිකයා විහාරයෙන් බැහැරව ගිය ද නිස සන්සිඳේ. ආපසු පැමිණි කල්හි නැවත නිස ගත යුතු ය. උපාධ්‍යායයාගෙන් වෙන්ව විසීම නිසා සන්සිඳී ගිය නිස උපාධ්‍යායයා හා එක්වීමෙන් නැවත ප්‍ර‍කෘතිමත් වේ. නැවතත් උපාධ්‍යාය ගැනීමක් නුවුවමනා ය.

ගිලානෝපස්ථානය.

එසමයෙහි එක්තරා භික්ෂුවකට කුක්ෂිරෝගයක් විය. උපස්ථායකයකු නැති ඒ භික්ෂුව මලමුත්‍ර‍ තැවරුණු සිරුරෙන් ශයනය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ හා සෙනසුන් බලා වඩනා සේක් ඒ භික්ෂුව වෙසෙන විහාරයට පැමිණි සේක. තමාගේ මලමුත්‍රයෙන් තැවරී නිදන ඒ භික්ෂුව දැක “මහණ තට කිනම් ආබාධයක් ඇත්තේ දැ”යි භාග්‍යවතුන් වහන්සේ විචාළහ. “ස්වාමීනි, මාහට කුක්ෂිවිකාරයකැ”යි භික්ෂුව සැල කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණ, තට උපස්ථායකයෙක් නැත්තේ දැ”යි විචාළහ. ගිලන් භික්ෂුව නැත යයි කීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණ, තට කුමක් නිසා භික්ෂූහු උවටැන් නො කෙරෙත්දැ”යි විචාළහ. “ස්වාමීනි, මම භික්ෂූන්ට උවටැන් නො කරන්නෙමි, ඒ නිසා භික්ෂූහු මට උපස්ථාන නො කෙරෙති”යි භික්ෂුව සැල කෙළේ ය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආනන්දය, වතර ගෙනෙව, මේ භික්ෂුව නාවන්නෙමු”යි වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ “එසේය, ස්වාමීනි,” යි කියා වතුර ගෙන ආහ. භාග්‍යවතුන් වහන්සේ වතුර වත් කළහ. ආනන්දස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂුවගේ සිරුර පිරිසිදු කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හිසින් ද ආනන්ද ස්ථවිරයන් වහන්සේ පාදයන්ගෙන් ද භික්ෂුව ඔසවා ඇඳෙහි ශයනය කරවූහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂුසංඝයා රැස්කරවා “මහණෙනි, අසවල් විහාරයෙහි ගිලන් භික්ෂුවක් ඇත්තේ දැ”යි අසා “ඇතය”යි භික්ෂූන් සැල කළ කල්හි ඒ භික්ෂුවට කිනම් රෝගයක් දැයි විචාළ කල්හි “භාග්‍යවතුන් වහන්ස, කුසයේ රෝගයකැ”යි භික්ෂූහු කීහ. ඉක්බිති “මහණෙනි, ඒ භික්ෂුවට උවටැන් කරන්නෙක් ඇත්තේ දැ”යි විචාරා “නැතය”යි සැල කළ කල්හි “කුමක් නිසා ඒ භික්ෂුවට භික්ෂූහු උපස්ථාන නො කෙරෙත් දැ”යි විචාළහ. “ස්වාමීනි, ඒ භික්ෂුව භික්ෂූන්ට උපස්ථාන නො කරන්නෙකි. එබැවින් භික්ෂූහු ඔහුට උපස්ථාන නො කෙරෙති” යි සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“නත්ථි වො භික්ඛවෙ, මාතා නත්ථි පිතා යෙ වො උපට්ඨහෙය්‍යුං, තුම්හෙ චෙ භික්ඛවෙ, අඤ්ඤමඤ්ඤං න උපට්ඨහිස්සථ අථ ඛො චරහි උපට්ඨහිස්සති.

යො භික්ඛවෙ, මං උපට්ඨභෙය්‍ය, සො ගිලානං උපට්ඨහෙය්‍ය. සවෙ උපජ්ඣායො හොති, උපජ්ඣායෙන භික්ඛවෙ යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ ආචරියෙ හොති, ආචරියෙන යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සද්ධිවිහාරිකො හොති. සද්ධිවිහාරිකෙන යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ අන්තෙවාසිකො හොති, අන්තෙවාසිකෙන යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සමානුපජ්ඣායකො හොති, සමානුපජ්ඣායකෙන යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ සමානාචරියකො හොති, සමානාචරියකෙන යාවජීවං උපට්ඨාතබ්බො, වුට්ඨානමස්ස ආගමෙතබ්බං. සචෙ න හොති උපජ්ඣායො වා ආචරියො වා සද්ධිවිහාරිකො වා අන්තෙවාසිකො වා සමානුපජ්ඣායො වා සමානාචරියකො වා, සංඝෙන උපට්ඨාතබ්බො, නො චෙ උපට්ඨහෙය්‍ය, ආපත්ති දුක්කටස්ස.”[242]

තේරුම:-

“මහණෙනි, නුඹලාට උපස්ථාන කිරීමට මවක් නැත, පියෙක් නැත. මහණෙනි, ඉදින් තෙපි ඔවුනොවුන්ට උපස්ථාන නො කරන්නාහු නම් දැන් තොපට කවරෙක් උපස්ථාන කෙරේ ද?

“මහණෙනි, යමෙක් මා හට උපස්ථාන කෙරේ ද හෙතෙමේ ගිලනාට උපස්ථාන කරන්නේ ය. මහණෙනි, ඉදින් ගිලනාගේ උපාධ්‍යායයෙක් ඇත්තේ නම් උපාධ්‍යායයා විසින් ජීවත් වන තෙක් ගිලනාට උපස්ථාන කළ යුතු ය. ඔහුගේ සුවය බලාපොරොත්තු විය යුතුය. ඉදින් ආචාර්‍ය්‍යයේක ඇත්තේ නම් ආචාර්‍ය්‍යයා විසින් ජීවත්වන තෙක් උපස්ථාන කළ යුතු ය. සුවය බලාපොරොත්තු විය යුතු ය. ඉදින් සද්ධිවිහාරිකයෙක් ඇත්තේ නම් සද්ධිවිහාරිකයා විසින් ජීවත්වන තාක් උපස්ථාන කළ යුතු ය. සුවය බලාපොරොත්තු විය යුතු ය. ඉදින් අන්තේවාසිකයෙක් ඇත්තේ නම් අන්තේවාසිකයා විසින් ජීවත් වන තාක් උපස්ථාන කළ යුතු ය. සුවය බලාපොරොත්තු විය යුතු ය. ඉදින් සමානෝපාධ්‍යාය ඇතියෙක් ඇත්තේ නම් සමානෝපාධ්‍යායයා විසින් ජීවත් වන තෙක් උපස්ථාන කළ යුතු ය. සුවය බලාපොරොත්තු විය යුතු ය. ඉදින් සමානාචාර්‍ය්‍යයෙක් ඇත්තේ නම් සමානාචාර්‍ය්‍යයා විසින් දිවි ඇති තෙක් උපස්ථාන කළ යුතු ය. ඉදින් ගිලන් භික්ෂුවට උපාධ්‍යායයෙක් හෝ ආචාර්‍ය්‍යයෙක් හෝ සද්ධිවිහාරිකයෙක් හෝ අන්තේවාසිකයෙක් හෝ සමානෝපාධ්‍යායයෙක් හෝ සමානාචාර්‍ය්‍යයෙක් හෝ නැත්තේ නම් සංඝයා විසින් උපස්ථාන කළ යුතු ය. ඉදින් උපස්ථාන නො කරන්නේ නම් දුකුළා ඇවැත් වේ.”

රෝගියා ආගන්තුක භික්ෂුවක් හෝ කිසිවකු නැතියෙක් හෝ වේ නම් විහාරස්ථ සංඝයා විසින් උපස්ථාන කළ යුතු ය. නො කළේ නම් සැමට ම ඇවැත් වේ. සංඝයා වාර නියම කරගෙන උපස්ථාන කෙරේ නම් තමාගේ වාරයේදී උපස්ථාන නො කරන භික්ෂුවට ඇවැත් වේ. එක් භික්ෂුවක් බාරගෙන උපස්ථාන කෙරේ නම් සෙස්සන්ට ඇවැත් නැත. මේ ගිලානෝපස්ථානය සංඝස්ථවිරයන් වහන්සේගේ පටන් සැමට ම අයිති ය.

“යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය, සො ගිලානං උපට්ඨහෙය්‍ය” යනු ඇතැමුන් වරදවා තේරුම් කරන පාඨයෙකි. “යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය” යන තැන උපට්ඨහෙය්‍ය යන්නෙහි අදහස අවවාදය අනුශාසනය පිළිගැනීම ය. අවවාදානුශාසනය පිළිගැනීමත් එක්තරා උපස්ථානයෙකි. යමෙක් අවවාදානුශාසනය පිළිගැනීම් වශයෙන් මට උපස්ථාන කෙරේ නම් ඔහු ගිලනාට උපස්ථාන කරන්නේ ය යනු ඒ පාඨයේ තේරුම ය. එය විනය අටුවාවෙහි තේරුම් කර ඇත්තේ මෙසේ ය.

“යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍යාති යො මං ඔවාදානුසාසනී කරණෙන උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය මම ඔවාදකාරකෙන ගිලානො උපට්ඨාතබ්බොති අයමෙත්ථ අත්ථො.”[243]

බුදුනට උපස්ථාන කිරීම හා ගිලනකුට උපස්ථාන කිරීම සමානය යි කීම බලවත් වරදෙකි. ගිලනකුට උපස්ථාන කිරීම බුදුනට උපස්ථාන කිරීමෙන් දහසින් පංගුවක් වටිනා ක්‍රියාවක් නො වේ.

මත සන්තකය

“භික්ඛුස්ස භික්ඛවෙ, කාලකතෙ සංඝො සාමි පත්තචීවරෙ. අපි ච ඛො ගිලානුපට්ඨාකා බහුකාරා, අනුජානාමි භික්ඛවෙ, සංඝෙන තිචීවරඤ්ච පත්තඤ්ච ගිලානුපට්ඨාකානං දාතුං. යං තත්ථ ලහුභණ්ඩං ලහුපරික්ඛාරං තං සම්මුඛීභූතෙන සංඝෙන භාජෙතුං. යං තත්ථ ගරුභණ්ඩං ගරුපරික්ඛාරං තං ආගතානාගතස්ස චාතුද්දිසස්ස සංඝස්ස අවිස්සජ්ජිකං අවෙභංගිකං.”[244]

“මහණෙනි, භික්ෂුවක් කලුරිය කළ කල්හි ඔහුගේ පාසිවුරු සංඝයාට අයිති ය එහෙත් ගිලානෝපස්ථායකයෝ බොහෝ උපකාර ඇත්තෝ ය. මහණෙනි, සංඝයා විසින් කලුරිය කළ මහණහුගේ පාසිවුරු ගිලානෝපස්ථායකයන්ට දෙන්නට අනුදනිමි. එහි යම් ලඝු භාණ්ඩයක් ලඝු පරිෂ්කාරයක් වේ නම් ඒවා සම්මුඛීභූත සංඝයා විසින් බෙදා ගත යුතුය. එහි යම් ගරුභාණ්ඩයක් ගරුපරිෂ්කාරයක් වේ නම් ඒවා ආගතානාගත චාතුද්දසික සංඝයාට අයිති විසර්ජනය නො කළ යුතු නො බෙදිය යුතු වස්තු ය.”

ඉහත දක්වන ලද්දේ කලුරිය කළ භික්ෂූන්ට අයත් චීවරාදි වස්තූන් පිළිබඳ විනය නීතිය ය. එයින් දැක්වෙන්නේ කාලක්‍රියා කළ භික්ෂුවකට අයත් චීවරාදි වස්තූන් සංඝයාට මිස නෑයන්ට හෝ ගෝලයන්ට හෝ අයිති නැති බව ය. සංඝයා විසින් පාසිවුරු ගිලානෝපස්ථායකයන්ට දිය යුතු ය. ගිලානෝපස්ථානය එකකු විසින් කරන ලද නම් සියල්ල ඔහුට දිය යුතුය. උපස්ථායකයෝ බොහෝ වෙත් නම් බෙදා දිය යුතු ය. වඩා උපස්ථාන කළ තැනැත්තාට වැඩි කොටස දිය යුතුය. කලුරිය කළ මහණහුගේ පාසිවුරු දහසක් අගනේ ද උපස්ථායකයන්ට ම දිය යුතුය. ඉදින් පාසිවුරු නැත්තේ නම් අන්‍ය පරිෂ්කාර ඇත්තේ නම් පාසිවුරු වෙනුවට ඒවා දිය යුතු ය. කලුරිය කළ භික්ෂුවගේ පාසිවුරු නො වටනා ඒවා නම් අන් පිරිකරත් සමග ඒවා උපස්ථායකයන්ට දිය යුතුය. උපස්ථාන කළ අය ගිහි වුව ද ස්ත්‍රීන් හෝ වුව ද ඔවුහු පිරිකර කොටස ලැබීමට සුදුස්සෝ ය. එක් වස්තුවක් දෙදෙනකුට අයත් කල්හි එක් භික්ෂුවක් කාලක්‍රියා කළ හොත් ඒ වස්තුව ජීවත්වන භික්ෂුවට අයත් වේ. බොහෝ දෙනකුන්ට අයත් වස්තුවක් හිමියන් බොහෝ දෙනකු කලුරිය කොට එක් භික්ෂුවක් ඉතිරි වුව ද ඒ වස්තුව ඉතිරි භික්ෂුවට අයත් වේ. අන්තිම භික්ෂුවගේ මරණයෙන් ඒ වස්තුව සංඝයාට හිමි වේ. උපස්ථායකයන්ට පාසිවුරු දීම ද කර්මවාක්‍යයෙන් හෝ අපලෝකනයෙන් හෝ කළ යුතුය. රෝගී භික්ෂුව ඔහුගේ පරිෂ්කාර ජීවත්වන කාලයේ අනිකකුට දී ඇති නම් ඒවා සංඝයාට හෝ උපස්ථායකයන්ට හෝ අයිති නැත. එහෙත් ඒ භික්ෂුව උපස්ථායකයන්ට සැලකිල්ලක් කළ යුතු ය.

“සචෙ හි පඤ්චසු සහධම්මිකෙසු යො කොචි කාලං කරොන්තො “මමච්චයෙන මය්හං පරික්ඛාරො උපජ්ඣායස්ස හොතු ආචරියස්ස හොතු සද්ධිවිහාරිකස්ස හොතු අන්තෙවාසිකස්ස හොතු මාතු හොතු පිතු හොතු අඤ්ඤස්ස වා කස්සචි හොතූ” ති වදති, තෙසං න හොති, සංඝස්සෙව හොති. න හි පඤ්චන්නං සහධම්මිකානං අච්චයෙ දානං රූහති. ගිහීනං පන රූහති.”[245]

පස් සහදැමියන් අතුරෙන් යමෙක් කලුරිය කරන්නේ මාගේ ඇවෑමෙන් මාගේ පිරිකර උපාධ්‍යායයාට වේවා ආචාර්‍ය්‍යයාට වේවා සද්ධිවිහාරිකයාට වේවා අන්තේවාසිකයාට වේවා මවට වේවා පියාට වේවා අන්කිසිවකුට හෝ වේවා යි කියා ද එසේ මළ පසු අයිතිවීම සඳහා කරන දීමනාව වලංගු නො වේ. මළහුගේ පිරිකර සංඝයාට ම හිමි වේ. මළ පසු හිමිවීම සඳහා පස් සහදැමියන් කරන දීමනාව වලංගු නො වේ. ගිහියන් එසේ කරන දීමනාව වලංගු වේ. මැරෙන තැනැත්තා විසින් දෙන ලදුව ඔහු ජීවත්වන කාලයේදී ම යමකු යමක් ගතහොත් එය ඔහුට අයිති ය. මේ කරුණ ඛුද්දසික්ඛාවෙහි මෙසේ දැක්වේ.

“න රූහතච්චයෙ දානං - පඤ්චන්නං සහධම්මිනං,

සංඝස්සෙව ද තං හොති - ගිහීනං පන රූහති.”[246]

ගරුභාණ්ඩ

සංඝයාට ලැබෙන භාණ්ඩ ගරු භාණ්ඩ - ලඝු භාණ්ඩ වශයෙන් දෙකොටසකි. භික්ෂූන්ට නිතර ම ඒවා පරිභෝග කරන්නට පාලනය කරන්නට සිදුවන බැවින් ගරු - ලඝු භාණ්ඩ පිළිබඳ විනය හොඳින් දැන සිටිය යුතු ය. එසේ නො වුව හොත් ඒවායින් නිතර වරදට පැමිණිය හැකිය. ගරුභාණ්ඩවලට “අවිස්සජ්ජියභාණ්ඩ - අවෙභංගියභාණ්ඩ” යන නම් ද කියනු ලැබේ. සේනාසනඛන්ධකයෙහි ගරුභාණ්ඩ විභාගය වදාරා ඇත්තේ අවිස්සජ්ජියභාණ්ඩ අවෙභංගියභාණ්ඩ යන නම් වලිනි. ඒ මෙසේය:-

“පඤ්චිමානි භික්ඛවෙ, අවිස්සජ්ජියානි න විස්සජ්ජෙතබ්බානි සංඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතානි පි අවිස්සජ්ජිතානි හොන්ති, යො විස්සජ්ජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස.”[247]

මහණෙනි, මේ භාණ්ඩ පස සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකකුට නො දිය යුතු ය. දුන්නේ ද ගත්තහුට අයිති නො වේ. ඒ භාණ්ඩ යමෙක් අනිකෙකුට දුන්නේ නම් ඔහුට ථුලැසි ඇවැත් වේ.

“කතමානි පඤ්ච? ආරාමො ආරාමවත්ථු ඉදං පඨමං අවිස්සජ්ජියං න විස්සජ්ජෙතබ්බං, සංඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස.”

කවර පසෙක් ද යත්? ආරාමය, ආරාමවස්තුවය යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකකුට නො දිය යුතු පළමුවන වස්තුව ය. එය දුන්නේ ද ගත්තහුට අහිමි වේ. යමෙක් දුන්නේ නම් ඔහුට ථුලැසි ඇවැත් වේ.

“විහාරො විහාරවත්ථු ඉදං දුතියං අවිස්සජ්ජියං. න විස්සජ්ජෙතබ්බං, සංඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස.”1

විහාරය, විහාරවස්තුවය යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකකුට නො දිය යුතු දෙවන වස්තුව ය. එය දුන්නේ ද ගත්තහුට අහිමි වේ. යමෙක් දුන්නේ නම් ඔහුට ථුලැසි ඇවැත් වේ.

“මඤ්චො පීඨං භිසි බිම්බොහනං ඉදං තතියං අවිස්සජ්ජියං න විස්සජ්ජෙතබ්බං සංඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස.”1

ඇඳ පුටු ගුදිරි කොට්ට යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකකුට නොදිය යුතු තුන්වන වස්තුව ය. දුන්නේ ද ගත්තහුට අහිමි ය. යමෙක් දෙන්නේ නම් ඔහුට ථුලැසි ඇවැත් වේ.

“ලොහකුම්භි ලොහභාණකං ලොහවාරකො ලොහ කටාහං වාසි ඵරසු කුඨාරි කුද්දාලො නිඛාදනං ඉදං චතුත්ථං අවිස්සජ්ජියං න විස්සජ්ජෙතබ්බං, සංඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති. යො විස්සජ්ජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස.”[248]

ලොහොසැළි ලොහොකටාරම් ලොහොසැළ ලොහො කළ වෑ පොරෝ කෙටේරි උදලු සාරන උපකරණ යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකකුට නො දිය යුතු සතර වන වස්තුව ය. දුන්නේ ද ගත්තහුට අහිමි වේ. යමෙක් දෙන්නේ නම් ඔහුට ථුලැසි ඇවැත් වේ.

“වල්ලි වෙළු මුඤ්ජං බබ්බජං තිණං මත්තිකං දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං ඉදං පඤ්චමං අවිස්සජ්ජියං න විස්සජ්ජෙතබ්බං, සංඝෙන වා ගණෙන වා පුග්ගලෙන වා. විස්සජ්ජිතම්පි අවිස්සජ්ජිතං හොති, යො විස්සජ්ජෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස.”[249]

වැල්, හුණ, මුඤ්ජ නම් තණ, බබ්බජ නම් තණ, ගෙවල් සෙවෙනි කරන අන් තණ, මැටි, ලීබඩු, මැටි බඩු යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයකු විසින් හෝ අනිකකුට නො දිය යුතු ය. දුන ද ගත්තහුට අහිමි ය. යමෙක් දෙන්නේ නම් ඔහුට ථුලැසි ඇවැත් වේ.

භාග්‍යවතුන් වහන්සේ විසින් ගරුභාණ්ඩ වදාරා ඇත්තේ රාශි වශයෙන් පසකට බෙදීමෙනි. ආරාම ආරාමවත්ථු යන දෙක පළමුවන රාශිය ය. විහාර විහාරවත්ථු යන දෙක දෙවන රාශිය ය. මඤ්ච පීඨ භිසි බිම්බෝහන යන සතර තුන්වන රාශිය ය. ලෝහකුම්භි ලෝහභාණක ලෝහවාරක ලෝහකටාහ වාසි ඵරසු කුඨාරි කුද්දාල නිඛාදන යන නවය සතරවන රාශිය ය. වල්ලි වෙළු මුඤ්ජ බබ්බජ තිණ මත්තිකා දාරුභණ්ඩ මත්තිකාභණ්ඩ යන අට පස්වන රාශිය ය. සියල්ල පිඩු කළ කල්හි ගරුභාණ්ඩ පස්විස්සකි.

“ද්විසංගහානි ද්වෙ හොන්ති - තතියං චතුසංගහං,

චතුත්ථං නව කොට්ඨාසං - පඤ්චමං අට්ඨභෙදනං.

-

ඉති පඤ්චහි රාසීහි - පඤ්ච නිම්මලලොචනො,

පඤ්චවීසවිධං නාථො - ගරුභණ්ඩං පකාසයි.”[250]

විනය පාළියෙහි නම් වශයෙන් දක්වා ඇත්තේ අතීත කාලයේ මිනිසුන් පරිභෝග කළ භාණ්ඩයන් ය. ඒවාට සමාන මෙකල ඇති භාණ්ඩයෝ ද ගරුභාණ්ඩයන්ට අයත් වෙති. යම්කිසි පූජාවකදී බොහෝ ගරුභාණ්ඩ ලද ද ඒවා පෞද්ගලික වන පරිදි නො බෙදිය යුතු ය. බෙදුව ද ඒවා ලද අයට අයිති නො වේ. නො බෙදිය යුතු බැවින් ගරුභාණ්ඩ අවේභංගිය නම් වේ. විහාරයකදී දායකයන් විසින් “සංඝස්ස දෙම” කියා ගරුභාණ්ඩ පූජා කළ හොත් ඒවා සංඝයාගේ ප්‍රයෝජනය පිණිස ඒ විහාරයේ ම තැබිය යුතු ය. ඒ විහාරයට සෑහෙන්නට බඩු ඇත්තේ නම් එම බඩු ඒ විහාරයට වුවමනා නැති නම් සංඝික වශයෙන් පරිභෝජනය කිරීම සඳහා අන් විහාරවලට දිය යුතුය. ඒ ඒ අයට පෞද්ගලික වශයෙන් නො දිය යුතුය. විහාරයෙන් පිටත ගෙයක කරන පින්කමකදී සංඝස්ස දෙම කියා ඇඳක් පූජා කළ හොත් එය සංඝස්ථවිරයන් වාසය කරන ස්ථානයට දිය යුතු බව විනය අටුවාවෙහි කියා ඇත. එහි බොහෝ ඇඳ පුටු ඇත්තේ නම් එතැනට ඇඳකින් ප්‍රයෝජනයක් නැති නම් ඇඳක් වුවමනා විහාරයකට සංඝික වශයෙන් පරිභෝග කිරීම සඳහා දිය යුතු බව කියා ඇත. මෙසේ විහාරයේන පිටත දී ලැබෙන අන්‍ය ගරුභාණ්ඩ සම්බන්ධයෙන් පිළිපැදිය යුත්තේ ද ඒ කීම අනුව ය.

“බහිසීමාය සංඝස්ස දෙමාති දින්නමඤ්චො සංඝත්ථෙරස්ස වසනට්ඨානෙ දාතබ්බො. සචෙ තත්ථ බහුමඤ්චා හොන්ති මඤ්චෙන කම්මං නත්ථි යස්ස විසනට්ඨානෙ කම්මං අත්ථි, තත්ථ සංඝපරිභොගෙන පරිභුඤ්ජථාති දාතබ්බො.”[251]

දැන් බොහෝ තැන්වල පෙනෙන්නේ ලැබෙන සියල්ල ගමේ පන්සලට දීම ය. එය සුදුසු ද? නැත ද? යනු විමසිය යුතු ය.

ආරාම ආරාමවත්ථු යන මෙහි ආරාමය යනු වැවිල්ලක් ඇති බිම ය. ආරාමවත්ථු යනු වැවිල්ලක් නැති බිම ය. විහාර විහාරවත්ථු යන මෙහි විහාර යනු වාසය කරන ගොඩනැගිලි ය. විහාරවත්ථු යනු ඒවා පිහිටි බිම් ය. ආරාමාදි ගරුභාණ්ඩ නො දිය හැකි වුව ද එබඳු ගරුභාණ්ඩයක් ගරුභාණ්ඩයකට මාරු කළ හැකි ය. සංඝයා වෙසෙන විහාරයට දුර පිහිටි වත්තක්, සමීපයේ පිහිටි වත්තකට මාරු කර ගත හැකි ය. ගෙයක් වුව ද ගෙයකට මාරු කර ගත හැකි ය. ඇඳ පුටු ආදි ගරු භාණ්ඩවලට වෙනත් ගරුභාණ්ඩ මාරු කර ගත හැකි ය. එක් වටිනා ඇඳක් ඇඳන් කීපයකට මාරු කිරීම ද වරද නැත. සංඝයාට අලාභ වන පරිදි මාරු නො කළ යුතු ය. සංඝයාට ප්‍රයෝජන නැති ගරුභාණ්ඩ මුදල් කර ප්‍රයෝජනවත් භාණ්ඩ ගැනීම ද වරද නැත. එය කැපකරුවකු මඟින් කළ යුතු ය. ගරුභාණ්ඩ දී ආහාර වස්ත්‍රාදිය නො ගත යුතු ය.

සඟසතු හුණ දඬු ලී ආදිය චෛත්‍යකර්මාන්තයට සංඝික විහාරවල වැඩට යොදා ඉතිරි වන ඒවා පෞද්ගලික වැඩට යෙදවීම ද වරද නැත. ඒවා ගෙය ගිනිගත් කෙනකු ගෙන යනවා නම් නො වැළැක්විය යුතු බව ද කියා ඇත. සංඝයාට අයත් එක් වියත් සතරඟුලක් පමණ දික් හුණ දඬු කැබෙල්ලක් වුවත් ලී කැබෙල්ලක් වුවත් විනයේ සැටියට ගරුභාණ්ඩයෙකි. සඟ සතු භූමිවල වැවී ඇති ගස් වැල් ද ගරු භාණ්ඩය. ඒ ගරුභාණ්ඩ අනිකකුට දීමේ අයිතියක් භික්ෂූන්ට නැති බව ගිහියෝ නො දනිති. විහාරාධිපති ස්ථවිර නමකට විහාරයේ ඇති ඕනෑම දෙයක් දීමට බලය ඇතැයි ගිහියෝ සිතති. එබැවින් ඇතැම් ගිහියෝ හුණගස් පුවක්ගත් තැන තැන ඇති ලී දඬු හා ඇතැම් භාණ්ඩ භික්ෂූන්ගෙන් ඉල්ලති. මෙය ලොකු ප්‍ර‍ශ්නයෙකි. ඉල්ලන සුළු දෙයක් නුදුන හොත් ඔවුහු කලකිරෙති. විරුද්ධ වෙති. සමහරවිට විරුද්ධකම් කරන්නටත් පටන් ගනිති. “මේ හාමුදුරුවෝ අනුන්ට බණ කියනවා මිස, අහක දමන දෙයක්වත් කෙනකුට නො දෙති” යි විනය නො දත් ගිහියෝ කලකිරෙති. මෙය උභතෝකෝටික ප්‍ර‍ශ්නයකි. දුන හොත් භික්ෂුවට ඇවැත් වේ. නුදුනහොත් ගිහියන්ගෙන් කරදර පැමිණේ. මෙබඳු කරුණුවලදී ස්ථානෝචිත ප්‍ර‍ඥාවෙන් ක්‍රියා කොට දෙපසින් ම නිදහස ලබා ගන්නට දැන ගත යුතු ය. නුවණැති ගිහියා සඟසතු දේ ගැනීමට නුසුදුසු බව කියා සතුටු කරවිය හැකිය. මෝඩ ගිහියා එසේ සතුටු නො කළ හැකි ය. එබඳු අවස්ථාවලදී භික්ෂුවට ඇත්තේ නම් වළක්වන්නේ නැතිව ගෙන යන්නට හැර තුෂ්ණීම්භූත වීම ය. සඟසතු බඩු තබා පෞද්ගලික බඩු වුව ද සැමට ම දීම නුසුදුසු ය.

සද්ධාදෙය්‍ය විනිපාතය

“න ච භික්ඛවෙ සද්ධාදෙය්‍යං විනිපාතෙතබ්බං, යො විනිපාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[252]

මහණෙනි, සැදැහැයෙන් දෙන ලද්ද විනාශ නො කළ යුතු ය. යමෙක් විනාශ කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

ගිහියන් විසින් භික්ෂූන්ට සැදැහැයෙන් දෙන සිවුපසය නො මනා පරිදි පරිභෝග කිරීමෙන් හෝ නුසුදුස්සන්ට දීමෙන් හෝ විනාශ කරනු දක්නා සැදැහැවතුන්ට ඇති වන්නේ භික්ෂූන් කෙරෙහි අප්‍ර‍සාදයෙකි. නො මනා ලෙස පරිභෝග කොට, දුන් සැදැහැවතුන්ගේ සිත් රිදවීම බලවත් වරදෙකි. තමන් පූජා කළ දෙය භික්ෂූන් විසින් පරෙස්සමින් බෝ කල් පරිභෝග කරනු දක්නා ගිහියෝ භික්ෂූන් කෙරෙහි පහදිති.

කොසඹෑ නුවර උදේනි රජුගේ සාමාවතී දේවිය ප්‍ර‍ධාන පන්සියයක් ස්ත්‍රීහු ආනන්දස්ථවිරයන් වහන්සේ ගෙන් බණ අසා පැහැදී තම තමන්ගේ උතුරුසළු උන් වහ්නසේට පූජා කළහ. උතුරු සළු නැතිව සිටිනා ස්ත්‍රීන් දැක රජතුමා “තොපගේ උතුරු සළුවලට කුමක් වී දැ”යි ඇසීය. ස්ත්‍රීහු ආනන්දස්ථවිරයන් වහන්සේට පූජා කළ බව කීහ. “සියල්ල ම ආනන්දස්ථවිරයන් වහන්සේ පිළින්නා ලද්දේදැ”යි අසා “එසේය” යි කී කල්හි, රජතුමා ආනන්දස්ථවිරයන් වහන්සේ වෙත එළඹ, “මෙපමණ වස්ත්‍ර‍ රාශියක් නුඹවහන්සේට කුමටදැ”යි ඇසීය. “මහරජ, අපට වුවමනා පමණ ගෙන සෙස්ස දිරූ සිවුරු ඇති භික්ෂූන්ට දෙමු”යි තෙරුන් වහන්සේ කීහ. “ස්වාමීනි, ඒ භික්ෂූන්ගේ දිරූ සිවුරුවලට කුමක් කෙරෙත්දැ”යි රජතුමා කීය. “වඩාත් දිරූ සිවුරු ඇතියන්ට දෙන්නාහ”යි කීහ. “ඔවුන්ගේ දිරූ සිවුරුවලට කුමක් කෙරෙත්දැ”යි රජ ඇසීය. “මහරජ, පසතුරුණු කෙරෙත්ය”යි තෙරුන් වහන්සේ කීහ. පරණ පසතුරුණුවලට කුමක් කෙරෙත්දැ”යි රජු ඇසී ය. “බුමුතුරුණු කෙරෙත්ය”යි තෙරණුවෝ කීහ. “පුරාණ බුමුතුරුණුවලට කුමක් කෙරෙත්දැ”යි රජු ඇසී ය. “මහරජ පාබිසි කරන්නාහයි” කීහ. “පුරාණ පාබිසිවලට කුමක් කෙරෙත් දැ”යි විචාළේ ය. “ඒවා සිහින් කැබලි කොට මැටි හා අනා බිත්තිවලට ගසන්නාහ”යි කීහ. “ස්වාමීනි, මෙතෙක් දුර ගොස් ද ආර්‍ය්‍යයන් වහන්සේලාට දුන් දෙය නො නස්නේය”යි රජු කීය. “එසේය මහරජ” යි තෙරුන් වහන්සේ කීහ. රජු පැහැදී වස්ත්‍ර‍ පන්සියයක් ගෙන්වා තෙරුන් වහන්සේට පූජා කෙළේ ය.

(චූළවග්ග පාළි)

සැදැහැයෙන් දෙන සිවුපසය, දීමට නුසුදුස්සන්ට දීම ද සද්ධාදෙය්‍ය විනිපාතනය ය. එබැවින් භික්ෂූන් විසින් තමාට ලැබෙන ප්‍ර‍ත්‍යය නුසුදුස්සන්ට නො දිය යුතු ය.

දීමට සුදුස්සෝ.

අනුජානාමි භික්ඛවෙ, මාතාපිතුන්නං දාතුං”[253] යනුවෙන් මාපියන්ට දීම තථාගතයන් වහ්නසේ විසින් අනුදැන වදාරා ඇති බැවින් මා පියෝ දීමට සුදුස්සෝ ය. කොතරම් අගනා දෙයක් වුව ද මාපියන්ට දීම සද්ධාදෙය්‍ය විනිපාතය නො වේ. මාපියන්ට වුව ද පෞද්ගලික දෙය මිස සඟසතු දෑ නො දිය යුතු ය. මාපියෝ රජයෙහි පිහිටියාහු ද පුත්‍ර‍ වූ භික්ෂුවගෙන් යමක් බලාපොරොත්තු වෙත් නම් දිය යුතු ය. උපස්ථානය බලාපොරොත්තු වෙත් නම් උපස්ථාන කළ යුතු ය. දුබල මාපියන්ට උපස්ථායකයන් නැති නම් විහාරයෙහි නවතාගෙන උපස්ථාන කිරීම ද සුදුසු ය. ස්ත්‍රීශරීරය ස්පර්ශ කිරීම පැවිද්දන්ට නුසුදුසු බැවින් ශරීරය ස්පර්ශ නො කරමින් මවට උපස්ථාන කළ යුතු ය.

මාපියන්ට උපස්ථාන කරන්නවුන්ට හා විහාරස්ථානයන්හි වත්-පිළිවෙත් කරන්නවුන්ට ද පණ්ඩුපලාසයන්ට ද දීම සුදුසු ය. “පණ්ඩුපලාස” යනු විහාරයේ නැවතී පැවිදි වීමට සූදානම් වන තැනැත්තා ය. ඔහුට භික්ෂූන්ගේ භාජනවල වුව ද කෑම දී සුදුසු ය. “පබ්බජිතපරිභොගො හි අගාරිකානං චෙතියට්ඨානියො”[254] යි පැවිද්දන් පරිභෝග කරන වස්තූහු ගිහියන්ට චෛත්‍යස්ථානයෙහි සිටිතැයි දක්වා ඇති බැවින් පණ්ඩුපලාසයාට හැර අන් ගිහියන්ට භික්ෂූන්ගේ භාජනවල කෑම නො දිය යුතු ය. මාපියන්ට වුව ද නො දිය යුතු බව දක්වා ඇත. දී සතුටු නො කළ හොත් අනතුරු සිදුවන්නට ඉඩ ඇති බැවින් නපුරු සොරුන්ට හා අධිපතීන්ට ද දිය යුතුය. සොරුන්ට සඟසතු වස්තුව වුව ද දීමට සුදුසු බව දක්වා ඇත. මගවියදම් නැතිව විහාරයට පැමිණෙන ආගන්තුකයන්ට හා රෝගීන්ට ද දිළින්දන්ට ද දීම සුදුසු ය. එය ඔවුන්ගෙන් කිසි ප්‍ර‍ත්‍යුපකාරයක් බලාපොරොත්තු නො වී ශුද්ධචිත්තයෙන් ම කළ යුතු ය.

සඟසතු දෑ ආරක්ෂා කිරීම පිළිබඳ සිකපද.

“යො පන භික්ඛු සංඝිකං මඤ්චං වා පීඨං වා භිසිං වා කොච්ඡං වා අජ්ඣොකාසෙ සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්‍ය න උද්ධරාපෙය්‍ය අනාපුච්ඡා වා ගච්ඡෙය්‍ය පාචිත්තියං.”

යම් මහණෙක් සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ මෙට්ටයක් හෝ කොච්ඡ නම් වූ කෙඳිවලින් කළ අසුනක් හෝ එළිමහනෙහි අතුරා හෝ අතුරවා හෝ යන්නේ එය නැවත තැන්පත් නො කෙරේ නම් නො කරවා නම් අනිකකුට භාර නො කොට හෝ යේ නම් පචිති වේ.

සඟසතු ඇඳ පුටු ආදිය එළිමහනේ අතුරා හෝ අතුරවා හෝ ඒවා තැන්පත් නො කොට තැන්පත් කිරීමට අනිකකුට හෝ භාර නො කොට භාණ්ඩය ඇති තැනින් ලෙඩ්ඩුපාතයක් ඉක්ම ගියේ නම් පචිති ඇවැත් වේ. කියන ලද භාණ්ඩ හැර බුමුතුරුණු පාබිසි ආදි අන් සඟසතු බඩුවක් එළිමහනේ දමා යාමෙන් දුකුළා ඇවැත් වේ. අනිකකුගේ පෞද්ගලික දෙයක් එළිමහනේ දමා ගිය ද දුකුළා ඇවැත් වේ. තමාගේ දෙය දමා යාමෙන් ඇවැත් නො වේ. හේමන්ත ග්‍රීෂ්ම සෘතු දෙක්හි වැසි නැති කාලයේ භාණ්ඩ එළිමහනේ තැබීමෙන් ඇවැත් නො වේ. සතුන් අපවිත්‍ර‍ කරන ගස් යට නො තැබිය යුතු ය.

“යො පන භික්ඛු සංඝිකෙ විහාරෙ සෙය්‍යං සන්ථරිත්වා වා සන්ථරාපෙත්වා වා තං පක්කමන්තො නෙව උද්ධරෙය්‍ය න උද්ධරාපෙය්‍ය අනාපුච්ඡා වා ගච්ඡෙය්‍ය පාචිත්තියං.”[255]

යම් මහණෙක් සඟසතු විහාරයෙහි ශයනයක් අතුරා හෝ අතුරවා හෝ යන්නේ එය තැන්පත් නො කෙරේ නම් නො කරවා නම් අනිකකුට භාර නො කොට හෝ යේ නම් පචිති ඇවැත් වේ.

මේ සිකපදයේ සෙය්‍ය (ශයන) යන වචනයෙන් කියනු ලබන්නේ භිසි, චිලිමිකා, උත්තරත්ථරණ, භුම්මත්ථරණ, තට්ටිකා, චම්මක්ඛණ්ඩ, නිසීදන, පච්චත්ථරණ, තිණසන්ථාර, පණ්ණසන්ථාර යන දස ය. එහි “භිසි” යනු ගුදිරිය ය. “චිලිමිකා, යනු බදාමයෙන් මට්ටම් කර ඇති බිමෙහි පැහැය ආරක්ෂාවීම පිණිස එළන ඇතිරියික. “උත්තරත්ථරණ” යනු ඇඳ පුටුවලට එළන ඇතිරි ය. “භුම්මත්ථරණ” යනු බිමට එළන ඇතිරිය ය. “තට්ටිකා” යනු තල්පත් ආදියෙන් කළ පැදුරකි. “චම්මක්ඛණ්ඩ” යනු සම්කඩ ය. “නිසීදන” යනු හිඳගැනීමට පාවිච්චි කරන දහවලු සහිත වස්ත්‍රයෙකි. “පච්චත්තථරණ” යනු ලොම් ඇති ඇතිරිය ය. “තිණසන්ථාර” යනු පැදුරු ය. “පණ්ණසන්ථාර” යනු තල්පත් ආදියෙන් කළ පැදුර ය.

සංඝයාට අයත් කියන ලද භිසි ආදි වස්තු දශයෙන් යම්කිසිවක් ගෙන සඟසතු විහාරයක අතුරා පරිභෝග කොට යන කල්හි එය තැන්පත් නො කොට තැන්පත් නො කරවා හෝ අනිකකුට භාර නො කොට හෝ විහාරයෙන් බැහැර යන භික්ෂුවට පචිති වේ. පරික්ෂේපයක් ඇති විහාරයෙහි පරික්ෂේපයෙන් පිටතට පළමු පිය තැබීමේදී දුකුළා ඇවැත් වේ. දෙවන පිය තැබීමේදී පචිති ඇවැත් වේ. අපරික්ෂිප්ත ආරාමයෙන් උපචාරය ඉක්මවනු සමඟ පචිති ඇවැත් වේ. උපචාර යනු ලෙඩ්ඩුපාත දෙකකි.

විහාරූපචාරයේ හෝ උපට්ඨානසාලාවක හෝ මණ්ඩපයක හෝ රුක්මුලක හෝ භිසි ආදිය පනවා තැන්පත් නො කොට යන්නහුට දුකුළා ඇවැත් වේ. ඇඳක් හෝ පුටුවක් හෝ විහාරයේ හෝ විහාරූපචාරයේ හෝ උපස්ථානශාලාවේ මණ්ඩපයේ හෝ රුක්මුලක හෝ පනවා තැන්පත් නො කොට යන්නහුට දුකුළා ඇවැත් වේ.

විහාරය තුළ පනවා තැන්පත් නො කොට යන්නහුට පචිති වන්නේ විහාරය තුළ එසේ තිබෙන්නට හැර ගිය කල්හි වේයන් නැඟී අතුළ දෙයත් නැති වී විහාරයටත් හානි වන නිසා ය. පිටත අතුරා ගිය කල්හි නැසෙන්නේ අතුළ දෙය පමණෙකි. එයට දුකුළා ඇවැත් පනවා ඇත්තේ ඒ නිසා ය.

යම්කිසි විහාරයක අසුන් ගෙන එක් රැයක් වුව ද වාසය කොට යන භික්ෂුව තමා පරිභෝගකළ අසුන් විහාරස්ථ භික්ෂුවකට හෝ අන් සුදුසු කෙනකුට බාර දී යාම සිකපද නැත ද යුතුකමෙකි. යම්කිසි විහාරයක අසුන් ගෙන කලක් වාසය කළ හොත් යන කල්හි විසූ තැන පවිත්‍ර‍ කොට බඩු තැන්පත් කොට සුදුස්සකුට බාරදී යාම යුතුකමෙකි. විසූ තැන ගැන නො සලකා යාම අශීලාචාරකමෙකි. වේයන් නො නගින සතුරන්ගෙන් සොරුන්ගෙන් අන්තරායක් නො වන ආරක්ෂාව ඇති විහාරයක පනවා ගත් අසුන එසේ ම තිබෙන්නට හැර යාමෙන් ඇවැත් නො වේ.

“න භික්ඛවෙ, අධොතෙහි පාදෙහි සෙනාසනං අක්කමිතබ්බං. යො අක්කමෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[256]

මහණෙනි, නො සේදූ පයින් සෙනසුන නොපෑගිය යුතු ය. යමෙක් පාගා නම් දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ, අල්ලෙහි පාදෙහි සෙනාසනං අක්කමිතබ්බං, යෝ අක්කමෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”

මහණෙනි, තෙත් පයින් සෙනසුන නො පෑගිය යුතු ය. යමෙක් පාගා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. නො පෑගිය යුත්තේ පිය තැබූ තැන වතුර පෙනෙන තරමට තෙත් වූ පයිනි. තෙත් පයින් පිරියම් කළ බිම හෝ ඇඳ පුටු පෑගීමෙන් ඇවැත් වේ. පාබිසි පෑගීමෙන් ඇවැත් නො වේ.

“න භික්ඛවෙ, සඋපාහනෙන සෙනාසනං අක්කමිතබ්බං, යො අක්කමෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, වහන් සහිත පයින් සෙනසුන නොපෑගිය යුතු ය. යමෙක් පාගා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. වහන් පයලා පෑගීමෙන් හානියක් නො වන ශක්තිමත් බිම පෑගීමෙන් වරදක් නො වේ.

“න භික්ඛවෙ, පරිකම්මකතාය භූමියා නිට්ඨුහිතබ්බං, යො නිට්ඨුහෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, පිරියම් කළ බිම කෙළ නො ගැසිය යුතු ය. යමෙක් කෙළ ගසා නම් දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ, පරිකම්මකතා භිත්ති අපස්සෙතබ්බා, යො අපස්සෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, පිරියම් කළ භිත්තියට හේත්තු නො විය යුතු ය. යමෙක් හේත්තු වේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. පිරියම් කළ භිත්තිය යනු සුනු ආදියෙන් මට්ටම් කරන ලද භිත්තිය හා චිත්‍ර‍කර්ම කළ භිත්තිය ය.

“න කෙවලඤ්ච භිත්තිමෙව ද්වාරම්පි වාතපානම්පි අපස්සෙන ඵලකම්පි පාසාණත්ථම්භම්පි රුක්ඛත්ථම්භම්පි චීවරෙන වා කෙනචි වා අපටිච්ඡාදෙත්වා අපස්සයිතුං න ලබ්භති.”[257]

හුදෙක් භිත්තිය ම නො වේ, දොරටු ද කවුළුවලට ද හේත්තු වන පුවරුවට ද ගල්කණුවලට ද ලී කණුවට ද සිවුරෙන් හෝ අන් කිසිවකින් නො වසා හේත්තු වීමට නුසුදුසු ය. නුසුදුසු වන්නේ ඩහදිය ගැල්වී ඒවා අපවිත්‍ර‍ වන බැවිනි.

එසමයෙහි භික්ෂූහු පා සෝදා වුව ද සඟසතු සෙනසුන්වල නිදා ගැනීම සුදුසුදැ යි සැක කළෝ ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි “අනුජානාමි භික්ඛවෙ, පච්චත්ථරිත්වා නිපජ්ජිතුං”[258] යි සඟසතු ඇඳ ඇතිරිලි මත තමා සතු දෙයක් අතුරා නිදන්නට අනුදැන වදාළහ.

“පරිභණ්ඩකතං භූමිං වා භුම්මත්ථරණසෙනාසනං වා සංඝිකමඤ්චපීඨං වා අත්තනො සන්තකෙන පච්චත්තථරණෙන පච්චත්ථරිත්වා ව නිපජ්ජිතබ්බං. සචෙ නිද්දායතො’පි පච්චත්ථරණෙ සංකුචිතෙ කොචි සරීරාවයවො මඤ්චං වා පීඨං වා ඵුසති ආපත්තියෙව.”[259]

පිරියම් කළ බිම හෝ බුමුතුරුණු සෙනසුන් හෝ සඟසතු ඇඳ පුටු හෝ තමා අය්ත පච්චත්ථරනයකින් වසා ම නිදිය යුතු ය. ඉදින් නිදන කල්හි පච්චත්ථරණය හැකිලී යම්කිසි ශරීරාවයවයක් ඇඳෙහි හෝ පුටුවෙහි ස්පර්ශ වී නම් ඇවැත් වේ ම ය.

පච්චත්ථරණය භික්ෂූන්ට නියමිත සිවුරු නවයෙක් එකකි. එහි දිග පළල නියමයක් නැත. පැහැය නියමයක් ද නැත. එය පඬු පොවා හෝ නො පොවා පරිභෝග කිරීමට සුදුසු ය. එය සඟසතු අසුන් කිලිටි නො වීම පිණිස ඒවා මත එළා ගැනීම පිණිස ය. හැඳීමට පෙරවීමට නුසුදුසු ය.

රන් රිදී මුදල් ආදිය පිළිබඳ සිකපද

රූපියශික්ෂාපදය.

“යො පන භික්ඛු ජාතරූපරජතං උග්ගණ්හෙය්‍ය වා උග්ගණ්හාපෙය්‍ය වා උපනික්ඛිත්තං වා සාදියෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං.”[260]

යම් මහණෙක් රන් රිදී මසු කහවණු තමා පිණිස පිළිගනී නම් හෝ තමා පිණිස අනුන් ලවා ගන්වා ගනී නම් හෝ මෙය ඔබ වහන්සේට පුදමියි ඉදිරියේ තබන ලද්ද ඉවසා නම් හෝ වස්තුව නිස්සජ්ජනය කළ යුතු වේ. පචිති ඇවැත් වේ.

ජාතරූප යනු රත්රන් ය. රජත යන වචනයෙන් අන් තැන්වල රිදී කියැවේ. මෙහි රජත යන වචනයෙන් කියනුයේ රිදී හා ගනුදෙනුවට යෙදෙන සියලු ම මුදල් ජාතිය ය. යම් භික්ෂුවක් රත්රන් හෝ රිදී හෝ රන් රිදීවලින් හෝ අන් ලෝහ වර්ගයකින් හෝ කරදාසි ආදියෙන් හෝ කරන ලද ගනුදෙනුවට යෙදිය හැකි මුදලක් හෝ අනිකකු විසින් දෙනු ලබන කල්හි හෝ අස්වාමිකව තිබෙනු දැක හෝ තමාගේ ප්‍රයෝජනය පිණිස ගන්නේ හෝ ගන්වන්නේ හෝ වෙන් නම් නිසගි පචිති වේ. මෙය ඔබ වහන්සේට දෙමි යි සමීපයෙහි තැබූ කල්හි ද කයින් හෝ වචනයෙන් හෝ මේවා අපට අකපැය යි සිතින් හෝ ප්‍ර‍තික්ෂේප නො කොට ඉවසූයේ නම් නිසගි පචිති වේ.

රන් රිදී හා මුදල් නිස්සග්ගියවත්ථු ය. මුතු, මැණික්, හුණ පැහැ ඇති මැණික්, සක් පැහැපත් මටසිලුටු ගල්, පබුළු, රතු මැණික්, කබර මැණික්, ධාන්‍ය, දාසිදාස, වතු, කුඹුරු, මල්වතු, ඵලවතු යනාදිය දුක්කටවත්ථුය.

නිස්සග්ගියවත්ථූන් තමාගේ ප්‍රයෝජනය පිණිස පිළිගැනීමෙන් නිසගි පචිති වේ. අන්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස පිළිගැනීමෙන් දුකුළා ඇවැත් වේ. දුක්කටවත්ථූන් තමා පිණිස වුව ද අන්‍යයන් පිණිස වුව ද පිළිගැනීමෙන් දුකුළා වේ. කවරක් වුව ද පරෙස්සම් කිරීම සඳහා පිළිගැනීමෙන් රත්නශික්ෂාපදයෙන් පචිති වේ. ජාතරූපාදිය පිළිගැනීමේ දී වස්තු ගණනට ඇවැත් වේ.

නිස්සග්ගියවත්ථුවක් නෑයකු හෝ දායකයකු ගෙනැවිත් මේවා ඔබ වහන්සේට පරිත්‍යාගකරමියයි සමීපයේ තැබුව හොත් ගනු කැමැත්ත ඇත ද කයින් හෝ වචනයෙන් හෝ ප්‍ර‍තික්ෂේප කළ යුතුය. ඔහු දුන් දෙය නැවත නො ගනිමිය මේවා ඔබ වහන්සේට වේවා යි තබා ගිය හොත් ඒවා එසේ ම තිබෙන්නට හැරිය යුතු ය. ඉන්පසු අන් ගිහියකු පැමිණ “ස්වාමීනි, මේ කිමෙක් දැ”යි විචාළ හොත් කාරණය ඔහුට කිය යුතු ය. “ස්වාමීනි, මෙය පරෙස්සම් කළ යුතු ය. මෙය තැබීමට සුදුසු තැනක් දැක්වුව මැනව” යි ඔහු කියුව හොත් “මේ පරෙස්සම් වන තැනකැ” යි කාමරයක් හෝ අල්මාරියක් හෝ පෙට්ටියක් හෝ ඔහුට දැක්විය යුතු ය. “මෙහි තබන්න” ය යි නො කිය යුතු ය. දැක් වූ තැන ඔහු තැබූ කල්හි දොර වසා පරෙස්සම් කළ යුතු ය. එසේ කිරීමෙන් ඇවැත් නො වේ. ඒවා තමා විසින් නො ගත යුතු ය. අනිකකු ලවා නො ගැන්විය යුතු ය. අකප්පිය වස්තුවක් ඇති බව කැපකරුවකුට කීම සුදුසු ය. ඉදින් යම්කිසි කප්පිය භාණ්ඩයක් ගෙන වෙළෙන්දකු පැමිණ “ස්වාමීනි, මෙය ගන්නය”යි කියුවහොත් “උපාසකය, අපට මෙය වුවමනාය, මෙහි මුදලක් ද ඇත, එහෙත් අපට කප්පියකාරකයෙක් නැතය”යි කිය යුතු ය. ඉදින් වෙළෙන්දා “මම ම කැපකරුවා වෙමිය, ඇති තැන දැක්වුව මැනව”යි කියා නම් ඔහුට ඒවා දැක්විය යුතු ය. “ගනුවයි” නො කිය යුතු ය. ඔහු බඩුවට සෑහෙන මුදලක් ගෙන බඩුව භික්ෂුවට දෙන්නේ නම් එය පිළිගත යුතු ය. ඉදින් ඔහු බඩුවේ වටිනාකමට වැඩි මුදලක් ගන්නට තැත් කරන්නේ නම් මුදල් අඩු කරන්නට කථා නො කළ යුතු ය. “ඔබගේ භාණ්ඩය අපි නො ගනිමුය. ඔබ යන්නය”යි කිය යුතු ය. සැදැහැවතකු මුදලක් ගෙනවුත් මෙය චෛත්‍යයේ හෝ විහාරයේ වැඩට දෙමිය, ආරාමයේ ප්‍ර‍තිසංස්කරණ වැඩට දෙමිය, නවකර්මාන්තයකට හෝ දෙමිය” කියා නම් එය ප්‍ර‍තික්ෂේප නො කළ යුතු ය. “මොහු මෙසේ කියන්නේය”යි කැපකරුවන්ට කිය යුතු ය. නැතහොත් තමා නොපිලිගෙන ඒ කටයුත්ත සඳහා මුදල් භාරගන්නා තැනැත්තා ඔහුට කිය යුතු ය.

භික්ෂුවක් විසින් පිළිගත් නිස්සග්ගියවත්ථුව ගැන පිළිපැදිය යුත්තේ මෙසේ ය:- මුදලක් පිළිගත්තා වූ භික්ෂුව විසින් එය ගෙන සංඝයා වෙත ගොස් උත්තරාසංගය ඒකාංස කොට මහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ මුදල සංඝයා ඉදිරියේ තබා,

“අහං භන්තෙ රූපියං පටිග්ගහෙසිං, ඉදං මෙ නිස්සග්ගියං ඉමාහං සංඝස්ස නිස්සජාමි.”[261]

යි කියා නිස්සජනය කොට ඇවත දෙසිය යුතුය. ව්‍යක්ත භික්ෂුවක් විසින් ආපත්තිය පිළිගත යුතු ය. එහි ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ පැමිණියේ නම් “ඇවැත්නි, මෙය දෙනුව”යි ඔහුට කිය යුතු ය. ඉදින් ඔහු “මෙයින් කුමක් ගෙනෙන්නදැ”යි විචාළේ නම් “මේ දෙය ගෙනෙන්නය”යි නො කිය යුතු ය. “භික්ෂූන්ට මේ මේ දෙය කැපය”යි කිය යුතු ය. ඉදින් ඔහු ඒ මුදලින් තෙල් ගිතෙල් ආදි කැප දෙයක් ගෙන ආයේ නම් එය රූපියප්‍ර‍තිග්‍රාහකයා හැර අන්‍ය භික්ෂූන් විසින් පරිභෝග කළ යුතු ය. රූපියප්‍ර‍තිග්‍රාහකයා විසින් කොටසක් නො ගත යුතු ය. අනිකකු ලැබූ කොටසකින් යමක් ලද ද රූපියප්‍ර‍තිග්‍රාහකයා නො පිළිගත යුතු ය. ඒ මුදලින් ලද තෙලින් දැල්වූ පහනෙහි එළිය පවා රූපියප්‍ර‍තිග්‍රාහකයාට අකැප ය. එයින් රූපියප්‍ර‍තිග්‍රාහකයා පොත් කියැවීම් ආදි ප්‍රයෝජනයක් නො ගත යුතු ය. ඒ මුදල්වලින් ළිඳක් පොකුණක් කැණවුව හොත් ඒවායේ උනන දිය රූපියප්‍ර‍තිග්‍රාහකයාට අකැප ය. ඒ මුදලින් ඇඳක් පුටුවක් ගත ද එය රූපියප්‍ර‍තිග්‍රාහකයාට අකැප ය. මුදල් නිස්සජනය කළ තැනට පැමිණි ගිහියා එයින් සංඝයාට ප්‍රයෝජනයක් ලබාදීමට නුවණ නැතියෙක් වේ නම් මේ අකප්පිය වස්තුව ගෙන ගොස් ඉවත ලන්නය යි ඔහුට කිය යුතුය. ඉවත නො ලා මුදල ඔහු ගෙන යේ නම් නො වැළැක්විය යුතු ය. ඔහු ඒ දෙකින් එකකුදු නො කොට මට මෙයින් කම් නැතැයි බැහැර වී නම් මුදල ඉවත ලීමට භික්ෂුවක් සංඝයා විසින් සම්මත කළ යුතු ය. එය කරන්නේ මෙසේ ය : මේ මුදල ඉවත් කරන්නය යි කලින් ඒ භික්ෂුවගෙන් ඉල්ලුම් කළ යුතු ය. ඉක්බිති මේ කර්මවාක්‍යය කියා සම්මත කළ යුතු ය.

“සුණාතු මෙ භන්තෙ, සංඝො. යදි සංඝස්ස පත්තකල්ලං සංඝො (ඉත්ථං නාමං) භික්ඛුං රූපියඡඩ්ඩකං සම්මන්නෙය්‍ය, එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ, සංඝො. (ඉත්ථං නාමං) භික්ඛුං රූපියඡඩ්ඩකං සම්මන්නති. යස්සායස්මතො ඛමති. (ඉත්ථන්නාමස්ස) භික්ඛුනො රූපියඡඩ්ඩකස්ස සම්මුති, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති සො භාසෙය්‍ය.

“සම්මතො සංඝෙන (ඉත්ථන්නාමො) භික්ඛු රූපියඡඩ්ඩකො, ඛමති සංඝස්ස තස්මා තුණ්හි. එවමෙතං ධාරයාමි.”[262]

සම්මුතිය ලත් භික්ෂුව විසින් ඒ මුදල ගෙන නැවත සොයා ගත නො හෙන පරිදි ගැඹුරු දියකට හෝ ප්‍ර‍පාතයකට හෝ කැළෑවකට හෝ ඇස් පියා වීසි කළ යුතු ය.

“අනාපත්ති අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපති. යස්ස භවිස්සති සො හරිස්සතීති.”[263]

ආරාමය තුළ හෝ ගෙය තුළ හෝ තුබූ වස්තුවක් තමා ම ගෙන හෝ අනුන් ලවා ගන්වා හෝ “මෙය යමෙකුගේ නම් ඔහු ගෙන යන්නේය”යි තැන්පත් කොට තැබීමෙන් ඇවැත් නො වේ.

රත්න ශික්ෂාපදය‍.

“යො පන භික්ඛු රතනං වා රතනසම්මතං වා අඤ්ඤත්‍ර‍ අජ්ඣාරාමා වා අජ්ඣාවසථා වා උග්ගණ්හෙය්‍ය වා උග්ගණ්හාපෙය්‍ය වා පාචිත්තියං. රතනං වා පන භික්ඛුනා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපිතබ්බං, යස්ස භවිස්සති සො හරිස්සතීති. අයං තත්ථ සාමීචි.”[264]

යම් මහණෙක් රත්නයක් හෝ රත්නසම්මත දෙයක් හෝ ආරාමය තුළදී හෝ ගෙය තුළදී හෝ නො ව අන් තැනකදී තෙමේ ම ගනී නම් හෝ අනිකකු ලවා ගන්වා නම් හෝ පචිති වේ. රත්නයක් හෝ රත්නසම්මත දෙයක් හෝ ආරාමය තුළදී හෝ ගෙය තුළදී තමා විසින් ගෙන හෝ අන්‍යයන් ලවා ගන්වා හෝ යමෙකුගේ නම් ඔහු ගෙන යන්නේ ය යි තැන්පත් කොට තැබිය යුතු ය. මේ එහි වතය.

මේ සිකපදය අනුන් අයත් වස්තූන් පරෙස්සම් කිරීම සම්බන්ධයෙන් පනවන ලද්දකි. රත්න නම් මුතු, මැණික්, වෙරළුමිණි, සක්, වර්ණවත් ගල්, පබළු, රන්, රිදී, රතු මැණික්, කබර මැණික් යන මේවා ය. රත්න සම්මත දෙය යනු කන පළඳින තල්පත් කැබෙල්ලේ පටන් මනුෂ්‍යයන්ගේ උපභෝග පරිභෝග වස්තු සියල්ල ය.

භික්ෂූන් වෙසෙන ආරාමයේ හෝ තාවකාලික වශයෙන් වුව ද භික්ෂූන් වාසය කරන ගෙයක හෝ හිමියාට අමතක වී තුබූ අන් සතු වස්තුවක් නැති වුව හොත් එහි වෙසෙන භික්ෂූහු සැක කළ යුත්තෝ වෙති. එක්තරා ප්‍ර‍මාණයකින් ඒ ගැන වගකිව යුත්තෝ වෙති. එබැවින් අමතක වී හෝ වැටී හෝ තිබෙන අන් සතු වස්තුවක් දුටු විට එය ඇල්ලීම අකැප වස්තුවක් වුව ද තමා විසින් ම ගෙන හෝ අනුන් ලවා ගන්වා හෝ පරෙස්සම් කර තැබිය යුතු ය. එසේ කිරීමෙන් ඇවැත් නො වේ.

පරික්ෂේපයක් ඇති ආරාමයක නම් පරික්ෂේපය තුළ තුබූ දෙය ගෙන පරෙස්සම් කර තැබිය යුතු ය. පරික්ෂේපයක් නැති අරමක නම් උපචාරයෙහි තුබූ දෙය ද ගෙන තැබිය යුතු ය. ආරාම උපචාරය නම් ආරාමභූමි කෙළවරේ පටන් ලෙඩ්ඩුපාත දෙකකි. පරික්ෂේපයක් ඇති ගෙයක නම් ගෙය තුළ වූ දෙය ගෙන තැබිය යුතු ය. පරික්ෂේපයක් නැති ගෙයක නම් උපචාරයෙහි තුබූ දෙය ද ගෙන තැබිය යුතු ය. ගෙයක උපචාරය ගෙයි සිට කුල්ලක් හෝ මෝලක් වීසි කළ විට වැටෙන දුර ප්‍ර‍මාණය ය. විශාල ආරාමවල භික්ෂූන් වෙසෙන ආවාසවලට දුරින් තිබූ දේවල් ගෙන නො තැබිය යුතු ය. නැති වුව හොත් භික්ෂූන් ද සැකයට හේතු වන ප්‍ර‍මාණයේ තිබෙන දෙය පමණක් ගෙන තැබිය යුතු ය.

ජාතරූපරජතයන් තමාගේ ප්‍රයෝජනය පිණිස ගැනීමෙන් ගැන්වීමෙන් නිසගි පචිති වේ. සංඝයාගේ හෝ ගණයාගේ හෝ පුද්ගලයකුගේ හෝ ප්‍රයෝජනය පිණිස හා චෛත්‍ය කර්මාන්ත නවකර්මාන්තයන් පිණිස ද ගැනීමෙන් ගැන්වීමෙන් දුකුළා ඇවැත් වේ. අකප්පිය වූ හෝ කප්පිය වූ හෝ ගිහියකු අයත් වස්තුවක් පරෙස්සම් කිරීමට බාර ගැනීමෙන් පචිති වේ. මාපියන් සතු දෙය වුව ද පරෙස්සම් කිරීමට බාර ගැනීමෙන් පචිති ඇවැත් වේ. ඉදින් අවශ්‍යයෙන් පරෙස්සම් කළ යුතු මාපියන් අයත් දෙයක් ඇත්තේ නම් එය තමා අයත් කොට ගෙන පරෙස්සම් කළ යුතු ය. ආරාමයේ වැඩ කරන කම්කරුවන්ගේ කැති උදලු ආදි භාණ්ඩ වුව ද පරෙස්සම් කිරීමට බාර ගත හොත් ඇවැත් වේ. ඔවුන් තමන්ගේ උපකරණ පරෙස්සම් කර දෙන ලෙස භික්ෂුවට කියුව හොත් තැබීමට තැනක් දීම සුදුසු ය. එසේ කිරීමෙන් ඇවැත් නො වේ. භික්ෂුව සමීපයේ යමක් පරෙස්සමට තැබීමට ආ කෙනකු භික්ෂුව එය භාර නො ගැනීමෙන් කෝප වී ආරාමයේ දමා ගියේ නම් එයට භික්ෂුවට වග කියන්නට සිදුවන බැවින් පරෙස්සම් කර දිය යුතු ය. එයින් ඇවැත් නො වේ.

ආරාමයේ තිබී කිසියම් වස්තුවක් ආරක්ෂා කරගෙන සිටින භික්ෂුව වෙත කෙනකු පැමිණ තමාගේ දෙයක් නැති වූයේය යි ඉල්ලා නම් ඔහුගේ නැති වූ බඩුවේ ලකුණු විමසා ඔහු කියන ලකුණු එහි ඇත්තේ නම් එය ඔහුට භාර දිය යුතු ය. ඔහු කියන ලකුණු තමා වෙත ඇති භාණ්ඩයේ නැත්තේ නම් ඔහුට අන් තැන්වල සොයන්නය යි කිය යුතු ය. භාණ්ඩයක් පරෙස්සම් කරගෙන ඉන්නා භික්ෂුව ඒ විහාරය හැර යන්නේ නම් එහි වෙසෙන අන් සුදුසු භික්ෂුවකට එය බාර දී යා යුතු ය. බාරදීමට සුදුස්සකු විහාරයේ නැති නම් සමීපයේ වෙසෙන සුදුසු ගිහියකුට වුව ද බාර දී යා යුතු ය.

එසේ පරෙස්සම් කරගෙන සිටි වස්තුවක හිමියා නො පැමිණ බොහෝ කලක් ගත වූයේ නම් එය යම්කිසි වැඩකට යෙදිය යුතු බව කියා තිබේ. එහෙත් එය පරෙස්සම් කරන භික්ෂුව තමාගේ පෞද්ගලික වැඩකට වැය නො කළ යුතු ය. චෛත්‍යයක් කරවීම පොකුණක් ළිඳක් කැණවීම ආවාසයක් කරවීම ආදි ස්ථිර වැඩකට යෙදිය යුතු ය. වස්තු හිමියා බෝකල් ගත වී එය සොයා ආයේ නම් කළ දෙය දක්වා ඔහුට පින් අනුමෝදනා කරවිය යුතු ය. එයින් ඔහු සතුටු වූයේ නම් යහපති. ඔහු එයින් සතුටු නො වී තමාගේ ධනය ම ඉල්ලා නම් සුදුසු පරිදි අන්‍යයන්ගෙන් ඉල්ලා ඔහුගේ ධනය සපයා දිය යුතු ය. මේ විහාරස්ථානයේ අමතකව දමා ගිය වස්තුව සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ආකාරය ය.

රූපයසංවෝහාර සික්ඛාපදය.

“යො පන භික්ඛු නානාප්පකාරං රූපියසංවොහාර සමාපජ්ජෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං.”[265]

යම් මහණෙක් රන් රිදී මසු කහවණු හුවමාරු කෙරේ නම් නිසගි පචිති වේ.

ඉහත දැක්වූ රූපිය ශික්ෂාපදයෙන් රන් රිදී මසු කහවණු පිළිගැනීම ප්‍ර‍තික්ෂේප කරන ලදී. මේ සිකපදයෙන් ඒවා හුවමාරු කිරීම ප්‍ර‍තික්ෂේප කරනු ලැබේ. මේ සිකපදයේ රූපිය යන වචනයෙන් දැක්වෙන්නේ රූපියශික්ෂාපදයේ “ජාතරූපරජත” යනුවෙන් කියන ලද වස්තූන් ය. නිස්සග්ගියවත්ථු දුක්කටවත්ථු විභාගය රූපිය ශික්ෂාපද විස්තරයේ දක්වා ඇත. නිස්සග්ගිය වත්ථුවකට නිස්සග්ගිය වත්ථුවක් හෝ දුක්කටවත්ථුවක් හෝ කප්පිය වත්ථුවක් හෝ මාරුකර ගැනීමෙන් නිසගි පචිති වේ. දුක්කටවත්ථු කප්පියවත්ථුවකට නිස්සග්ගියවත්ථුවක් මාරු කර ගැනීමේන ද නිසගි පචිති වේ. දුක්කටවත්ථුවකට දුක්කටවත්ථුවක් හෝ කප්පියවත්ථුවක් මාරු කර ගැනීමෙන් ද කප්පියවත්ථුවකට දුක්කටවත්ථුවක් මාරු කර ගැනීමෙන් ද දුකුළා ඇවැත් වේ. මාරුකර ගන්නා ලද නිස්සග්ගියවත්ථුව ගැන රූපිය ශික්ෂාපදයෙහි කී පරිදි පිළිපැදිය යුතු ය. මාරු කර ගන්නා ලද නිස්සග්ගියවත්ථුව සංඝයා වෙත එළඹ -

“අහං භන්තෙ නානාප්පකාරකං රූපියසංවොහාරං සමාපජ්ජිං. ඉදං මෙ නිස්සග්ගියං ඉමාහං සංඝස්ස නිස්සජාමි.”[266]

මෙසේ කියා නිස්සජනය කළ යුතු ය. දුක්කටවත්ථුවක් ගත ඇවත දෙසා ගත යුතු ය.

මේ සිකපදයේ ගරුභාවය දැක්වීම සඳහා අටුවාවෙහි පාත්‍ර‍ සතරක් දක්වා ඇත. ඒ මෙසේ ය:-

යමෙක් මුදල් පිළිගෙන ඒ මුදලින් යකඩ ගෙන ඒවායින් පාත්‍ර‍යක් සාදවන ලද්දේ නම් එය මහා අකප්පිය පාත්‍ර‍යක් වේ. එය නිස්සජනාදි කිසි ම විධියකින් නැවත කැප කළ නො හැකි ය. පාත්‍ර‍ය මකා තැටියක් කළ ද එය අකැප තැටියකි. පිහියක් කළ ද එය අකැප පිහියකි. එයින් කපාගත් දෙය ද අකැප ය. එයින් කළ කැත්තක් උදැල්ලක් ගිනියම් කර බෙහෙක් හෝ වතුර හෝ රත්කර ගත හොත් එය ද අකැප ය.

යමකු මුදල් පිළිගෙන ඒ මිලයෙන් පාත්‍ර‍යක් ගත හොත් ඒ පාත්‍ර‍ය ද භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී ශික්ෂමානා යන සැමට ම අකැප ය. ඒ පාත්‍ර‍යට දුන් මුදල, මුදල් හිමියාටත් පාත්‍ර‍ය, පාත්‍ර‍ හිමියාටත් දුන හොත් ඉන්පසු භික්ෂුවක් කප්පිය භාණ්ඩයක් දී ඒ පාත්‍ර‍ය ගත හොත් කැපය යි කියා ඇත.

යමකු මුදල් පිළිගෙන කප්පියකාරකයකු හා කම්හලකට ගොස් මේ පාත්‍ර‍ය මට හොඳය යි කී කල්හි කැපකරුවා මුදල දී පාත්‍ර‍ය ලබා දුන හොත් එය කප්පිය ව්‍යවහාරයෙන් ලද දෙයක් වුව ද කලින් පිළිගත් මුදලට ලද වස්තුවක් වන බැවින් අකප්පිය වේ. ඒ පාත්‍ර‍ය මුදල් පිළිගත් භික්ෂුවට හැර අන්‍යයන්ට අකැප වන්නේ විනයානුකූලව නිස්සජනය නො කළ මුදලින් ගන්නා ලද බැවිනි. පිළිගත් මුදල නිස්සජනය කිරීමෙන් පසු කැප කරුවකු එයින් පාත්‍ර‍යක් ගෙන ආයේ නම් එය මුදල් පිළිගත් භික්ෂුවට හැර සෙස්සන්ට කැප ය.

මේ මුදලින් පාත්‍ර‍යක් මේ භික්ෂුවට ගෙන දෙන්න යයි කියා දායකයකු විසින් යවන ලද කප්පියකාරකයා හා භික්ෂුව වෙළෙඳසැලට ගොස් පාත්‍ර‍යක් දැක මේ මුදල් ගෙන මේ පාත්‍ර‍ය දෙන්නය කියා පාත්‍ර‍යක් ගත හොත් ඒ පාත්‍ර‍ය ඒ භික්ෂුවට අකැපය. අකැපවන්නේ මුදල් පිළිබඳ කථාවක් කළ බැවිනි. පිළිගත් මුදලකින් නො ගන්නා ලද්දක් නිසා එය අන්‍ය භික්ෂූන්ට කැපය. මේ අකප්පිය පාත්‍ර‍ සතර ය.

දායකයකු විසින් මේ තෙරුන් වහන්සේට පාත්‍ර‍යක් ගෙන දෙන්නය යි මුදල් දී යවන ලද කැපකරුවා හා භික්ෂුව වෙළඳසැලට ගොස් තමාට රුචි පාත්‍ර‍ය දැක්වූ කල්හි කප්පියකාරකයා මිල දී ඒ පාත්‍ර‍ය ගෙන දුන්නේ නම් එය සැමට ම කැප පාත්‍ර‍යක් වේ.

කයවික්කය සික්ඛාපදය.

“යො පන භික්ඛු නානාප්පකාරකං කයවික්කයං සමාපජ්ජෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං.”[267]

යම් මහණෙක් නානාප්‍ර‍කාර බඩු හුවමාරුවට පැමිණේ නම් නිසගි පචිති වේ.

කයවික්කයං සමාපජ්ජෙය්‍ය යන මෙහි, මේ බඩුව ගෙන මේ නම් බඩුව දෙවයි අනුන්ගේ බඩුව ගැනීම කය නම් වේ. තමාගේ බඩුවක් දීම වික්කය නම් වේ. තමාගේ බඩුව දී අනුන්ගේ බඩුවක් ගැනීම කයවික්කය නම් වේ. මේ බඩුව ගෙන මෙය දෙවයි කියා තමාගේ භාණ්ඩය දී අනුන්ගේ භාණ්ඩය ගැනීම අනුන්ගේ භාණ්ඩය ගෙන තමාගේ භාණ්ඩය දීම හෝ කිරීමෙන් නිසගි පචිති වේ. තමා ගත් බඩුව නිස්සජ්ජනය කළ යුතු වේ. මේ ඇවත වන්නේ පස් සහදැමියන් හැර සෙස්සන් හා හුවමාරු කිරීමෙනි. අකප්පියවස්තු හුවමාරුව රූපියසංවෝහාර සිකපදයට අයත් ය. මේ සිකපදය පණවා ඇත්තේ කප්පිය භාණ්ඩ හුවමාරුව පිළිබඳ ව ය. පස් සහදැමියන් හා හුවමාරු කිරීමෙන් ඇවැත් නො වේ. ඔවුන් හැර මාපියන් සමඟ වුව ද කප්පියභාණ්ඩ හුවමාරු කිරීමෙන් ඇවැත් වේ.

මේ වී ගෙන සහල් දෙන්නය යි ගිහියකුට කීමෙන් දුකුළා ඇවැත් වේ. එසේ කියා වී දීමෙහි දී ද දුකුළා ඇවැත් වේ. ගිහියාගේ සහල් ගැනීමෙන් නිසගි පචිති වේ. ගිහියාගේ සහල් පළමුවෙන් ගත හොත් ගන්නා කල්හි දුකුළා ඇවැත් වේ. තමාගේ වී ගිහියාට දුන් කල්හි ගත් සහල් නිසගි වේ. පචිති ඇවැත් වේ. අන් භාණ්ඩ මාරුකිරීමේ දී ද ඇවැත් වන සැටි මේ ක්‍ර‍මයෙන් සැලකිය යුතු ය. යටත් පිරිසෙයින් මව සමඟ වුව ද නූල්පොටක් පමණ දෙයක් වුව මාරු කිරීමෙන් නිසගි පචිති වේ.

සද්ධාදෙය්‍ය විනිපාතයෙන් වන ආපත්තිය හා අඤ්ඤාතක විඤ්ඤත්තියෙන් වන ඇවැත් ද මේ හුවමාරු කිරීමේ ආපත්තියට සම්බන්ධ වේ. මව හා පියා දීමට සුදුස්සන් බැවින් මේ දෙය අසවල් දෙය දෙනුය යි කියා යම්කිසිවක් දීමෙන් සද්ධාදෙය්‍ය විනිපාතනාපත්තිය නො වේ. නො නෑයකුට දෙන කල්හි සද්ධාදෙය්‍ය විනිපාතනාපත්තිය ද වේ. මව හා පියා ඉල්ලීමට සුදුස්සන් බැවින් අසවල් බඩුව දෙවයි ඉල්ලීමෙන් අඤ්ඤාතකවිඤ්ඤත්තියෙන් වන ඇවත ද නො වේ. මේ දෙය ගෙන මෙනම් දෙය දෙන්නයයි නො නෑයකුගෙන් ගැනීමෙන් අඤ්ඤාතක විඤ්ඤත්තියෙන් ද ඇවැත් වේ. කයවික්කය සිකපදයෙන් ද ඇවැත් වේ.

විනය දත් නුවණැති භික්ෂුවට වරදට හසු නො වී ද මාරු කර ගත හැකි ය. භික්ෂුව වෙත මඟ වියදමට ගෙන යන සහල් ඇත. අතරමගදී බත් මුලක් ගෙන යන මිනිසෙක් ඔහුට හමුවෙයි. මේ අවස්ථාවේදී භික්ෂුවට සහලට බත මාරු කර ගැනීමට වුවමනා නම් ගිහියාට මෙසේ කිය යුතුය. “අප වෙත සහල් ඇත. ඒවායින් අපට ප්‍රයෝජනයක් නො ගත හැකිය. බත් ඇති නම් අපට ප්‍රයෝජන ය.” ඉදින් ඒ පුරුෂයා භික්ෂුවගේ කථාව අසා සහල් ගෙන භික්ෂුවට බත දුන්නේ නම් ඒ බත කැපය. එය පිළිගැනීමෙන් භික්ෂුවට ඇවැත් නො වේ. මෙසේ නො කොට මේ සහල් ටික ගෙන ඔය බත්මුල අපට දී යන්නය යි කියා බත ගත්තේ නම් නිසගි පචිති වේ. මේ ක්‍ර‍මය අනුව අනික් බඩු ද මාරු කර ගත හැකි ය.

මේ බත අනුභව කොට අපට දරටිකක් ගෙනැවිත් දෙන්නය යි කියා දුගියකුට බතක් දී දර ගෙන්වා ගත හොත් ලබා ගත් දර කැබලි ගණනින් නිසගි පචිති වේ. මේ බත වළඳා අපට මේ වැඩේ කරදෙන්නය යි බතක් දී වැඩක් කරවා ගත ද ඇවැත් වේ. කසල ඉවත් කිරීමේ හැමදීම් ආදියක් කරවා ගතහොත් නිස්සජනය කිරීමට වස්තුවක් නැත. ඇවත දෙසිය යුතු ය.

භික්ෂුවට වස්ත්‍ර‍යක් ලැබී ඇති කල්හි වෙළෙන්දකු පෑනක් විකිණීමට ගෙන ආව හොත් භික්ෂුව වස්ත්‍ර‍ය දී පෑන ගනු කැමති නම් අප වෙත වස්ත්‍ර‍යක් ඇත. එයින් අපට වැඩක් නැත. පෑනකින් නම් අපට ප්‍රයෝජන ඇතැයි කිය යුතුය. ඉදින් වෙළෙන්දා වස්ත්‍ර‍ය ගෙන පෑන දුන්නේ නම් ගැනීමෙන් ඇවැත් නො වේ. මේ ගනුදෙනුව කරන කල්හි වටිනාකම විමසීමෙන් ඇවැත් නො වේ. වෙළෙන්දා පෑනේ මිල කී කල්හි භික්ෂුවගේ වස්ත්‍ර‍ය වඩා වටිනවා නම් අපේ වස්ත්‍ර‍ය වඩා වටිනවාය, ඒ නිසා පෑන අන් කෙනකුට දෙන්න ය යි කිය යුතුය. එසේ කී කල්හි වෙළෙන්දා පෑනත් සමඟ තවත් බඩුවක් දෙන්නේ නම් ගැනීමෙන් ඇවැත් නො වේ. තමාගේ බඩුව මාරුකර ගන්නා බඩුව තරම් වටිනා දෙයක් නො වන බව දැන වටිනා බඩුවකට මාරු කර ගත හොත් පාරාජිකා වීමට ද ඉඩ ඇති බව සැලකිය යුතු ය.

අනාමර්‍ශවස්තූහු

භික්ෂූන්හට අතින් ඇල්ලීමට, අන්‍ය ශරීරාවයවයකින් හෝ ස්පර්ශ කිරීමට නුසුදුසු වස්තූහු අනාමර්ශ වස්තූහුය. ඒවායින් ස්ත්‍රී ශරීරය ප්‍ර‍ධානය. ස්ත්‍රී ශරීරය ස්පර්ශ කිරීමෙන් පාරාජිකා සංඝාදිසේස ථුල්ලච්චය දුකට යන ඇවැත් සියල්ල ම සිදුවිය හැකිය. මනුෂ්‍ය ස්ත්‍රී ශරීරය තබා බලු බළල් ආදි තිරිසන් ස්ත්‍රීන්ගේ ශරීර ද, අනාමර්ශවස්තුය. ස්පර්ශ කිරීමෙන් ඇවැත් වේ. මවගේ දුවගේ සහෝදරියගේ පටන් සියලු ම ස්ත්‍රීහු බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට අන්තරායකරයෝය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ මාතෘප්‍රේමයෙන් මවගේ ශරීරය ස්පර්ශ කිරීමෙන් ද දුකුළා ඇවැත් වන බව වදාරා ඇත්තේ ය. ඒ බුද්ධප්‍ර‍ඥප්තියට ගරු කරන ශික්ෂාකාමී භික්ෂුව විසින් ගඟේ වැටී පාවෙන මව දුට ද ඇගේ ශරීරය ස්පර්ශ නො කළ යුතුය. නුවණැති භික්ෂුව විසින් ස්පර්ශ නො කර ම මවට පිහිට විය යුතු ය. පාවී යන මව දුට හොත් සමීපයෙහි ඇති ඔරුවක් හෝ කොටයක් හෝ ලෑල්ලක් හෝ කෙසෙල් කඳක් හෝ පිහිට කර ගත හැකි අන් කිසිවක් හෝ වහා මවට ළං කළ යුතුය. කිසිවක් සමීපයේ නුදුට හොත් ඇයට අල්ලා ගැනීම සඳහා තමාගේ සිවුර ළඟට දැමිය යුතු ය. එය අල්ලා ගන්න නො කිය යුතුය. ඇය සිවුර අල්ලා ගත් කල්හි සිවුර අදිමිය යන සිතින්, සිවුර ගොඩට ඇදිය යුතුය. එසේ කළ කල්හි මවට ගොඩ වන්නට ලැබේ. භික්ෂුවට ද ඇවතක් නො වේ. භික්ෂුව එසේ සිවුර ඇදගෙන යන කල්හි මව බිය වී කෑගසනවා නම් ඉදිරියෙන් ගොස් බිය වන්නට එපාය යි කියමින් සැනසිය යුතුය. ඉදින් මව බිය වී පුත්‍ර‍ භික්ෂුවගේ අතේ හෝ කරේ හෝ එල්ලුණේ නම් නො වැළැක්විය යුතුය. එල්ලී සිටින මව ගොඩට පැමිණවිය යුතුය එසේ කිරීමෙන් ද ඇවැත් නො වේ. මව වළක හෝ මඩෙක හෝ වැටී සිටිනු දුට ද එසේ පිළිපැදිය යුතුය. ඒ අවස්ථාවේදී යොතක් හෝ සිවුරු කොන ම හෝ ළං කොට ඇය එය ගත් කල්හි ගොඩට ඇදිය යුතුය. මවට මිස එසේ විපතට පත් අන් ස්ත්‍රියකට එබඳු උපකාරයක් කළ යුතු බව විනය පොත්වල දක්වා නැත. තමාට පිහිටවීමට හැකිව තිබියදී විපතට පත් ස්ත්‍රියක් මැරෙන්නට හැර බලාසිටීම සුදුසු යයි නො කිය හැකිය. අන් ස්ත්‍රියකට වුව ද එබඳු විපතකදී මවකට මෙන් පිහිටවීමෙන් ඇවතක් වෙතැයි නො සිතිය හැකි ය. මෙය විමසයි යුතු කරුණෙකි.

ස්ත්‍රීශරීරය පමණක් නොව ඔවුන්ගේ වස්ත්‍රාභරණයෝ ද අනාමර්ශවස්තූහු ය. භික්ෂූන්ට හිඳීම සඳහා ස්ත්‍රීන්ගේ වස්ත්‍ර‍ එළා දීමේ සිරිතක් මේ රටේ ඇත. එය නො මැනවි. ස්ත්‍රීන් හඳනා වස්ත්‍රයේ හිඳීමත් භික්ෂූන්ට නුසුදුසු ය. ස්ත්‍රීන්ගේ වස්ත්‍ර‍ අනාමර්ශ වන්නේ ඔවුන් සතු කාලයේ පමණෙකි. ස්ත්‍රියක් විසින් ඇගේ වස්ත්‍ර‍යක් සිවුරු සඳහා හෝ අන් ප්‍රයෝජනයක් සඳහා හෝ භික්ෂූන්ට පූජා කරන ලද්දේ නම් එය පිළිගෙන පරිභෝග කිරීම කැප ය.

දැව බදාම ආදියෙන් කළ ස්ත්‍රීරූපය ද අනාමර්ශවස්තු වෙති. විනෝදය පිණිස වුවද ඇල්ලුවහොත් ඇවැත් වේ. මනුෂ්‍යස්ත්‍රීරූපය පමණක් නොව තිරශ්චීන ස්ත්‍රීරූප ද අනාමර්ශවස්තු ය. ස්ත්‍රීරූප ලද හොත් ඒවා බිඳ ඒ ද්‍ර‍ව්‍යවලින් ගත හැකි ප්‍රයෝජනයක් ගැනීම සුදුසු ය.

සප්තවිධ ධාන්‍යයෝ ද අනාමර්ශවස්තු ය. හැල්ය, සෙසු වී ජාතිය, යවය, තිරිඟුය, තණය, වරා නමැති ධාන්‍යය, අමුය යන මේවා ධාන්‍යයෝ ය. ධාන්‍ය අනාමර්ශ බැවින් කුඹුරකින් හේනකින් යන කල්හි ඒවායේ ඇති ධාන්‍ය ස්පර්ශ නො කර යා යුතු ය යන මඟ වී වනා ඇති නම් නො පාගා අන් තැනකින් යා යුතු ය. යාමට මඟක් නැතහෝත වී උඩින් මාර්ග සංඥාවෙන් යා යුතු ය. වී පාගමිය යන සංඥාවෙන් පෑගුව ඇවැත් වේ. ගෙයකදී වී මත හිඳිනට අසුන් පනවා දුන්නේ නම් හිඳිය යුතුය. ගස්වල වැල්වල පිහිටි මුං මෑ ආදිය හා පොල් තල් දෙහි දොඩම් ආදි ඵල ද ස්පර්ශ නො කළ යුතු ය. වනයෙහි ගස් යට වැටී ඇති ගෙඩි අනුපසම්පන්නයන්ට දීම සඳහා ගැනීමෙන් ඇවැත් නො වේ.

මුතු මැණික්, වෙරළුමිණි. සක්, මැණික් ලෙස සලකන පැහැපත් ගල්, පබළු, රන්, රිදී, රත්මැණික්, මැසිරිගල් යන මේ රත්නයෝ ද අනාමර්ශයෝ ය. රත්නයන්ගේ ආමර්ශනාමර්ශනභාවය පිළිබඳ නොයෙක් ආචාර්‍ය්‍ය මත ඇත්තේ ය.

නො විදින ලද ඔප නො කළ ස්වාභාවික මුතු ස්පර්ශ කිරීමට වටනේ ය. විදින ලද ඔප දමන ලද මුතු ඇල්ලීම නො වටීය යනු එක් ආචාර්‍ය්‍ය මතයෙකි.

ඔප කළ නො කළ සියලු ම මුතු අනාමාසය, බඩුමිල සඳහා ද නො පිළිගත යුතු ය. කුෂ්ටරෝගයට බෙහෙත් පිණිස ගැනීමට පමණක් සුදුසුය යනු එක් ආචාර්‍ය්‍ය මතයෙකි.

කපා ඔබ කළ පළිඟුවෙහි පටන් නීසපීතාදිවර්ණ ඇති සියලු ම මැණික් අනාමර්ශවස්තු ය, කිසිවක් නො කළ මැණික් බඩුමිල පිණිස පිළිගැනීම වටීය යනු එක් ආචාර්‍ය්‍යමතයෙකි. කදාමිණි පමණක් පිළිගැනීමට වටනේ ය, සෙසු මැණික් පිළිගැනීමට නො වටීය යනු එක් ආචාර්‍ය්‍යමතයෙකි.

ඔප දමා රන්කම් රිදීකම් කර ඇති පිඹිනා සක අනාමර්ශ ය, පැන් ගන්නා සක ආමර්ශනයට සුදුසු ය. බෙහෙත් පිණිස හා බඩුමිල පිණිස ගැනීමට වටනේය යි සමන්තපාසාදිකාවේ දැක්වේ.

ඔප කළ විදින ලද රත්නමිශ්‍ර‍ ගල අනාමාස ය. සෙසු ගල් ආයුධ මුවහත තැබීම් ආදිය පිණිස පිළිගැනීම සුදුසු ය.

පබළු, ඔප කළ විදින ලද ඒවා අනාමාස ය, සෙසු පබලු ආමර්ශනයට සුදුසු ය, බඩුමිල පිණිස පිළිගැනීමට සුදුසුය යනු එක් ආචාර්‍ය්‍ය මතයෙකි. ඔප කළ නො කළ සියලු ම පබලු අනාමාස ය, පිළිගැනීමට නුසුදුසුය යනු එක් ආචාර්‍ය්‍ය මතයෙකි. ඒ මතය බුදුගොස් හිමියන් පිළිගෙන ඇත.

රන් රිදී හා ඒවායින් කළ භාණ්ඩ ද සම්පූර්ණයෙන් අනාමර්ශවස්තූහු ය, පිළිගැනීමට නුසුදුසුය යන මෙය සියලු ආචාර්‍ය්‍යයන් ම පිළිගන්නා ලද්දකි. උත්තර නමැති රාජකුමාරයකු විසින් ස්වර්ණචෛත්‍යයක් කරවා මහාපදුම ස්ථවිරයන් වහන්සේට යැවූ කල්හි උන් වහන්සේ එය අකප්පිය වස්තුවකැයි ප්‍ර‍තික්ෂේප කළහයි සමන්තපාසාදිකාවේ දක්වා ඇත්තේ ය.

චෛත්‍යගෘහයන්හි ඇති රන්තරු රන්මල් ද අනාමර්ශවස්තුය. චෛත්‍යගෘහය ආරක්ෂා කරන භික්ෂූන්ට ඒවා එහාමෙහා කිරීම වටීය යනු එක් ආචාර්‍ය්‍ය මතයකි. තවත් ආචාර්‍ය්‍යවරු ඒ මතය ප්‍ර‍තික්ෂේප කොට භික්ෂූන්ට කැප වන්නේ ස්වර්ණචෛත්‍යයේ කසළ ඉවත් කිරීම පමණය යි ගනිති. වර්ණයෙන් රත්රන් වැනි හාරකූට නම් වූ ලෝහය රත්රන් සේ ම අකැප ය.

“සෙනාසන පරිභොගෙ පන සබ්බො කප්පියො. තස්මා ජාතරූපරජතමයා සබ්බෙපි සෙනාසනපරික්ඛාරා ආමාසා. භික්ඛූනං ධම්මවිනය වණ්ණනට්ඨානෙ රතනමණ්ඩපෙ කරොන්ති, එලිකත්ථම්භෙ රතනදාමපතිමණ්ඩිතෙ. තත්ථ සබ්බූපකරණානි භික්ඛූනං පටිජග්ගිතුං වට්ටති.”[268]

සේනාසනවශයෙන් පරිභෝග කිරීමට රන්රිදී මුතු මැණික් සියල්ල කැපය. එබැවින් රන් රිදී වලින් කළ සියලු ම සේනාසනභාණ්ඩ භික්ෂූන්ට ස්පර්ශ කිරීමට සුදුසු ය. භික්ෂූන් ධර්මවිනය වර්ණනා කරන ස්ථානයන්හි රුවන්වැලින් යුක්ත වූ පළිඟු කණු ඇති රත්නමණ්ඩප කෙරෙති. ඒවායේ සියලු උපකරණ භික්ෂූන්ට පරිහරණය කිරීම වටනේය.

ඔප දමන ලද විදින ලද රත්මැණික් කබර මැණික් අනාමාසය, එසේ නො කරන ලද ඒවා ආමර්ශනයට සුදුසු ය, බඩු මිල පිණිස පිළිගැනීමට සුදුසු ය යනු එක් ආචාර්‍ය්‍යමතයකි. ඔප කළ නො කළ සියලු ම රත්මැණික් කබර මැණික් අනාමාසය, පිළිගැනීම නුසුදුසු ය යනු එක් ආචාර්‍ය්‍යමතයෙකි.

සියලු ආයුධභාණ්ඩ අනාමර්ශවස්තූහු ය. බඩුමිල පිණිස දෙන ලද ද නො පිළිගත යුතු ය. බඩුමිල පිණිස දීමය යනු මේ බඩුවට මාරුකර නුඹ වහන්සේට වුවමනා දයෙක් කැප දෙයක් ගන්නය කියා භික්ෂුවට දීම ය. ආවුධ වෙළඳාම භික්ෂූන්ට තබා උපාසකවරුන්ට ද නුසුදුසු ය. මෙහි ආයුධයයි කියනුයේ කෙස් රැවුල් නිය කැපීම පිණිස, දැහැටි පලතුරු ආදිය කැපීම පිණිස පාවිච්චි කරන භාණ්ඩ නොව කඩු, දුනු, තුවක්කු, කිණිසි, හෙල්ල ආදි පහරදීම සඳහා පාවිච්චි කරන භාණ්ඩයෝ ය. පහරදීමේ ප්‍රයෝජනය පිණිස තනා ඇති පිහි, වෑ, පොරෝ ආදිය ද ගැනෙන්නේ ආයුධ වලට ය. ඒවා ද අනාමර්ශයෝ ය. ඉදින් විහාරයෙහි ගිහියකු විසින් ආයුධයක් තබා ඇති නම් විහාරය ශුද්ධ කරන භික්ෂුව ඒවා ඉවත් කර ගන්නා ලෙස ආවුධ හිමියාට කිය යුතු ය. ඉවත් නො කරන ලද නම් ඒවා ඇති සැටියට තිබෙන්නට හැර ස්පර්ශ නො කොට ම විහාරය පවිත්‍ර‍ කළ යුතුය. යුදබිම වැටී ඇති අස්වාමික ආයුධ ගෙන කඩා අන් වැඩවලට ගැනීම වරද නැත. කෙනකු ආයුධයක් දුන හොත් එය බිඳ ඒ ද්‍ර‍ව්‍යයෙන් කැප දෙයක් තනා ගැනීම පිණිස ගැනීම ද සුදුසු ය. සතුන් අල්ලන දැල් යුද්ධයේදී ආරක්ෂාව පිණිස පාවිච්චි කරන පලිහ, යකඩ දැල්, යකඩ තොප්පි ආදිය ද අනාමාසයෝ ය. දැල් දානශාලාදිය සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා එල්ලීමට ගැනීම සුදුසු ය. ආරක්ෂාව සඳහා පාවිච්චි කරන පලිහ ආදිය බඩුමිල පිණිස පිළිගැනීම වරද නැත.

බෙර, දවුල්, තම්මැට්ටම්, වීණා, නලා ආදි සියලු තූර්‍ය්‍යභාණ්ඩයෝ ද අනාමර්ශවස්තූහු ය. මිනිසුන් විසින් චෛත්‍යයට බෝධියට පූජා පිණිස වාදනය කොට දමා ගිය තූර්‍ය්‍යභාණ්ඩයක් මලුයෙහි තිබුණේ නම් එය නො සොලවා හැමදිය යුතු ය. හැමද කසළ ඉවත් කරන අවස්ථාවෙහි තූර්‍ය්‍යභාණ්ඩයත් කසළවලට අයත් දෙයක් ලෙස සලකා ගෙන පසෙක තැබීම සුදුසු ය. බඩුමිල පිණිස හා බිඳ අන් ප්‍රයෝජනවත් බඩු සාදා ගැනීම සඳහා පිළිගැනීම සුදුසු බව කියා ඇත්තේ ය. අනාමාසවත්ථූන් ඛුද්දසික්ඛාවෙහි මෙසේ සැකෙවින් දැක් වේ.

“රතනානිත්ථිරූපානි - ධඤ්ඤමිත්ථිපසාධනං,

තුරියාවුධභණ්ඩානි - ආමසන්තස්ස දුක්කටං.”[269]

දශවිධරත්නයන් ද බදාම ලෝහ ආදියෙන් කළ ස්ත්‍රීරූපයන් ද සප්තවිධ ධාන්‍යය ද මාගමුන්ගේ ඇඳුම්පැළඳුම් ද තූර්‍ය්‍යභාණ්ඩයන් ද ආයුධ ද අල්ලන්නහුට දුකුළා වේ.

“සුවණ්ණපටිමා චා පි - චෙතියං හාරකූටකං

අනාමාසන්ති නිද්දිට්ඨං - කුරුන්දට්ඨකථාය හි.”[270]

අකප්පිය වස්තුවලින් ප්‍රයෝජන ලැබීමේ ආකාරය.

රන් රිදී මසු කහවනු ආදි අකප්පිය වස්තූන්ගෙන් ද භික්ෂූන්ට ප්‍රයෝජනය ලැබිය හැකි ආකාරයන් මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. විනය නො දත් භික්ෂුව අකප්පිය වස්තූන්ගෙන් ප්‍රයෝජන ලබන්නට යාමෙන් බොහෝ ඇවැත්වලට පැමිණේ. විනය දත් භික්ෂුව: කම්කරුවා අත ද බේරා ගෙන, ගිනියම් වූ යකඩය වැඩට යොදවන්නාක් මෙන් ඇවතට ද නො පැමිණ අකප්පිය වස්තූන්ගෙන් ප්‍රයෝජන ලබන්නේ ය. දායකයා ද විනය දන්නේ නම් භික්ෂූන්ට ඇවතින් මිදී අකප්පිය වස්තුවලින් ප්‍රයෝජන ලැබීම වඩාත් සුදුසු වේ. දායකයන්ගේ විනය නො දැනීම නොයෙක් විට කප්පිය වස්තුවලින් ද භික්ෂූන්ට ඇවැත් වීමට හේතු වේ.

රන්, රිදී, මසු, කහවණු යන සතරවර්ගය නිස්සග්ගිය වස්තූහුය. දැනට ලෝකයේ ඒ ඒ රටවල ගනුදෙනුවෙහි යොදවන මුදල් සියල්ල ම මසු කහවණුවලට අයත්ය. ඒවා පිළිගැනීමෙන් භික්ෂුවට නිසගි පචිති වන බව මෙහි ඉහත දක්වා ඇත.

යමෙකු මුදලක් ගෙනැවිත් මෙය ඔබ වහන්සේට දෙමි යි පෞද්ගලික වශයෙන් දුන් කල්හි පිළිගත හොත් නිසගි පචිති වේ. මුදලක් ගෙනවුත් “මෙය සංඝයාට දෙමිය, මෙයින් ආරාමයක් කරවන්නය, චෛත්‍යයක් කරවන්නය, විහාරයක් කරවන්නය, අන් කිසිවක් හෝ කරවන්නය” යි කිව ද නො පිළිගත යුතුය. පිළිගත හොත් දුකුළා ඇවැත් වේ. භික්ෂුව “මුදල් අපට අකැපය”යි කී කල්හි දායකයා ඒ මුදල විහාරයෙහි වැඩ කරන කෙනකු වෙත තබා “නුඹ වහන්සේ වැඩ ගැන දන්නා හ, එබැවින් මේ මුදල් සුදුසු පරිදි ඒ ඒ අයට දෙන්නට සලස්වනු මැනව”යි කියා ගියේ නම් එසේ කිරීම සුදුසු ය.

ඉදින් දායකයකු මුදලක් ගෙනවිත් සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ සඳහන් නො කොට “මුදල් චෛත්‍යයට හෝ විහාරයට හෝ අන්‍ය නව කර්මාන්තයකට හෝ දෙමි”යි කියා නම් ප්‍ර‍තික්ෂේප නො කළ යුතුය. “මොහු මෙසේ කියති”යි කැපකරුවකුට කිය යුතුය. “චෛත්‍යාදිය පිණිස නුඹ වහන්සේ ම තබාගන්නය” යි කිව හොත් “අපට අකැපය”යි ප්‍ර‍තික්ෂේප කළයුතුය.

යමකු බොහෝ මුදල් ගෙනවුත් “මේවා සංඝයාට දෙමිය මේවායින් සිවුපසය වළඳනු මැනව”යි කියා නම් එය සංඝයා පිළිගත හොත් පිළිගැනීමය, එයින් ප්‍ර‍ත්‍යයපරිභෝගය යන දෙක්හිදී ම ඇවැත් වේ. ඉදින් එතැන්හි එක් භික්ෂුවක් “මේවා අපට අකැපය” යි ප්‍ර‍තික්ෂේප කෙළේ නම් ගෙන ආ තැනැත්තා “එසේ නම් මේවා මට ම වේවා”යි ගෙන ගියේ නම් “ඔබ සංඝයාගේ ලාභය නැති කෙළෙහිය”යි කිසිවකු විසින් ඒ භික්ෂුවට දෝෂාරෝපණය නො කළ හැකි ය. යමෙක් චෝදනා කෙරේ නම් ඒ භික්ෂුවට ඇවැත් වේ. මුදල ප්‍ර‍තික්ෂේප කළ භික්ෂුව කෙළේ බොහෝ දෙනකුන් ඇවතින් මිදවීමය.

භික්ෂූන් විසින් අකැපය යි මුදල ප්‍ර‍තික්ෂේප කළ කල්හි දායකයා “මේ මුදල කැපකරුවන් අත තුබුණේද මාගේ අය අත තුබුණේ ද මා අත තුබුණේ ද ඔබවහන්සේලා මේවායින් ප්‍ර‍ත්‍ය පරිභෝග කෙරෙත්වා”යි කියා නම් ඒ මුදලින් ප්‍ර‍ත්‍ය ගෙන්වා පරිභෝග කිරීම කැපය. දායකයා චීවරාදි යම් කිසි ප්‍ර‍ත්‍යයක් සඳහා දෙමිය කියා දුන්නේ නම් ඒ දෙය සඳහා ම මුදල යෙදවිය යුතු ය. සිවුරු පිණිස මුදලක් දී ඇති කල්හි ඉදින් සංඝයාට සිවුරු වුවමනා නැත්තේ නම් අනිකක් වුවමනා නම් සංඝයාට දන්වා අනුමැතිය ලබාගෙන පිණ්ඩපාතාදිය සඳහා යෙදවිය හැකිය. සේනාසන පිණිස දෙන ලද මුදලක් වේ නම් සෙනසුන් ගරුභාණ්ඩයන්ට අයත් බැවින් අනිකක් සඳහා මුදල නො යෙදවිය යුතුය. සේනාසන සඳහා ම යෙදවිය යුතුය. ඉදින් භික්ෂූන්ට (සේනාසනය රැකබලා ගන්නා භික්ෂුවට) පිණ්ඩපාතය දුර්ලභ වී ඇත්තේ නම් ඒ මුදලින් යම් කිසි ප්‍ර‍මාණයක් පිණ්ඩපාතය සඳහා වැය කරවීම ද වරද නැත. මුදලින් වැඩි කොටසක් සේනාසනය සඳහා ම වැය කළ යුතුය.

මෙණ්ඩක සිකපදය.

දිනක් මෙණ්ඩක සිටුතුමා “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ආහාරපාන දුර්ලභ වූ මාර්ගෝපකරණ නො ගෙන යා නො හෙන කාන්තාරමාර්ග ඇත්තේ ය. එවැනි මාර්ගයන්හි ගමන් කරන්නා වූ භික්ෂූන්ට මඟවියදම ගෙන යාමට අනුදැන වදාළ මැනව”යි සැල කෙළේ ය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එක් ධර්මදේශනා සමයකදී භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක.

“සන්ති භික්ඛවෙ, මග්ගා කන්තාරා අප්පොදකා අප්පභක්ඛා න සුකරා අපාථෙය්‍යෙන ගන්තුං අනුජානාමි භික්ඛවෙ, පාථෙය්‍යං පරියෙසිතුං.”

තණ්ඩුලො තණ්ඩුලත්ථිකෙන මුග්ගො මුග්ගත්ථිකෙන මාසො මාසත්ථිකෙන ලොණං ලොණත්ථිකෙන ගුළො ගුළත්ථිකෙන තෙලං තෙලත්ථිකෙන සප්පි සප්පිත්ථිකෙන.

සන්ති භික්ඛවෙ, මනුස්සා සද්ධා පසන්නා තෙ කප්පියකාරකානං හත්ථෙ හිරඤ්ඤං උපනික්ඛිපන්ති ඉමිනායං අය්‍යස්ස කප්පියං තං දෙථාති. අනුජානාමි භික්ඛවෙ, යං තථො කප්පියං තං සාදියිතුං නත්වෙවාහං භික්ඛවෙ, කෙනචි පරියායෙන ජාතරූපරජතං සාදියිතබ්බං පරියෙසිතබ්බන්ති වදාමි.”[271]

තේරුම:

මහණෙනි, ආහාරපාන දුර්ලභ වූ මාර්ගෝපකරණ නො ගෙන යාම පහසු නො වූ කාන්තාරමාර්ගයෝ ඇත්තාහ. මහණෙනි, මාර්ගෝපකරණ සෙවීමට අනුදනිමි. සහල් වුවමනා භික්ෂුවට සහල් ද, මුං වුවමනා භික්ෂුවට මුං ද, මෑ වුවමනා භික්ෂුවට මෑ ද, ලුණු වුවමනා භික්ෂුවට ලුණු ද, සකුරු වුවමනා භික්ෂුවට සකුරු ද, තෙල් වුවමනා භික්ෂුවට තෙල් ද, ගිතෙල් වුවමනා භික්ෂුවට ගිතෙල් ද සෙවීමට අනුදනිමි.

මහණෙනි, සැදැහැවත් තෙරුවන්හි පහන් මිනිස්සු ඇතහ. ඔවුහු මෙයින් ආර්‍ය්‍යයන් වහන්සේට යමක් කැප නම් එය දෙත්වා යි කැප කරුවන් අත මුදල් තබන්නාහ. මහණෙනි එයින් යමක් කැප නම් එය පිළිගැනීමට ද අනුදනිමි. මහණෙනි, මම කිසි ආකාරයකින් ජාතරූපරජතය (මුදල්) ඉවසිය යුතුය සෙවිය යුතු ය යි නො කියමි.

මුදල්වලට සමාන වස්තු.

රන් රිදී මසු කහවණු නො වන, ඒවායින් ලැබිය හැකි ප්‍රයෝජන ලැබිය හැකි සමහර විට මුදල් වෙනුවට ද පාවිච්චි කළහැකි වස්තු ඇත්තේ ය. ඒවා පිළිගත ද නිසගි නො වේ. දුකුළා ඇවැත් වේ.

“මුත්තාමණි වෙළුරියො සංඛො සිලා පවාළං ලොහිතංකො මසාරගල්ලං සත්තධඤ්ඤානි දාසිදාසඛෙත්තවත්ථුපුප්ඵාරාම ඵලාරාමාදයොති ඉදං දුක්කටවත්ථු.”[272]

යනුවෙන් විනය අටුවාවෙහි ඒවා දුක්කට වත්ථුනාමයෙන් දක්වා ඇත්තේය. මුත්තාමණි යනාදිය අනාමර්ශවස්තු දැක්වීමේදී විස්තර කරන ලදී.

කෙත්වතු ආදිය පිළිබඳ විනය.

ආදායම් මාර්ග වන කෙත්වතු ආදියත් මුදල්වලට සමාන ය. එබැවින් කෙත්වතු ආදිය පිළිගැනීම ද රන් රිදී මසු කහවණු පිළිගැනීමට මඳක් සමාන ය. එහෙත් ඒවා පිළිගත හොත් මෙනම් ඇවතක් ය යි කෙළින් ම පනවන ලද සිකපද විනයපාළියෙහි නො දක්නා ලැබේ. “ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති”[273] යන සූත්‍ර‍ දේශනාව අනුව භික්ෂූන් ඒවා නො පිළිගත යුතුය යනු භාග්‍යවතුන් වහන්සේගේ අදහස බව පෙනේ. භාග්‍යවතුන් වහන්සේගේ අදහස තේරුම් ගැනීමට සමත් අර්ථකථාචාර්‍ය්‍යයන් වහන්සේලා විසින් පනවා ඇති සිකපද හා “ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති” යන සූත්‍ර‍ දේශනාව ද අනුව කෙත්වතු ආදිය ද පිළිගැනීම පිළිබඳ ආපත්තානාපත්ති විභාග දක්වා ඇත්තේ ය. පුරාණ ලෝකයේ කැරුණු වැඩ අනුව දක්වා ඇති ඒ කරුණු තේරුම් ගැනීමට ද අපහසු ය. ඒ විනිශ්චය අනුව මෙකල පවත්නා වැඩ අනුව කෙත්වතු පිළිගැනීම සම්බන්ධයෙන් කිය යුතු කරුණු ස්වල්පයක් දක්වනු ලැබේ.

සංඝයාහට විසීම සඳහා විහාරභූමි වශයෙන් පූජා කරන ඉඩම් සංඝයාට කැප ය. පිළිගැනීමෙන් ඇවැත් නො වේ. ආදායම් මාර්ගයක් වශයෙන් පැවැත්විය හැකි කුඹුරක් හෝ ඉඩමක් හෝ වත්තක් හෝ සැදැහැවතකු මේ කුඹුර මේ ඉඩම සංඝයාට දෙමියි කියා නම් එය නොපිළිගත යුතු ය. පිළිගතහොත් පිළිගැනීමේදී ද එයින් ලැබෙන දෙය පරිභෝග කිරීමේදී ද දුකුළා ඇවැත් වේ.

මහාසංඝයා වහන්සේට සිවුපසය පිණිස මේ කුඹර මේ වත්ත මේ ඉඩම දෙමිය කියා හෝ මහාසංඝයා වහන්සේට සිව්පස පරිභෝගය පිණිස මේ කුඹුර වත්ත ඉඩම දෙමිය කියා හෝ මහාසංඝයා වහන්සේ මේ කුඹුරෙන් මේ වත්තෙන් මේ ඉඩමෙන් උපදනා සිවුපසය පරිභෝග කෙරෙත්වා කියා හෝ දුන හොත් පිළිගැනීම කැපය. එසේ දුන හොත් සංඝයා පිළිගන්නේ අකප්පිය වස්තුව වූ ඉඩම නොව සිවුපසය ය. එබැවින් ඇවැත් නො වේ. සිවුපසය පිළිගැනීමෙන් ඉඩම ද සංඝයාට හිමි වේ. එය ගිහියකුට ගත නො හැකිය. ඉඩම් පූජා කරනු රිසි සැදැහැවත්හු නිරවද්‍ය ලෙස එය කරන්නට විනයධරයන්ගෙන් උපදෙස් ලබා ගත යුතුය. විනයධරයන් විසින් සැදැහැවතුන්ට උපදෙස් දිය යුතුය.

කුඹුරක් පූජාකිරීමේදී කීමට සුදුසු වාක්‍ය.

අම්හාකං ඉමං ඛෙත්තං ආගතානාගතස්ස චාතුද්දිසස්ස භික්ඛුසංඝස්ස චතුපච්චයපරිභොගත්ථාය දෙම.

තවත් ක්‍ර‍මයක්

අම්හාකං ඉමං ඛෙත්තං ආගතානාගතස්ස චාතුද්දිසස්ස භික්ඛුසංඝස්ස චත්තාරො පච්චයෙ පරිභුඤ්ජිතුං දෙම.

තවත් ක්‍ර‍මයක්

අම්හාකං ඉමස්මා ඛෙත්තතො උප්පන්නෙ චත්තාරො පච්චයෙ ආගතානාගතස්ස චාතුද්දිසස්ස භික්ඛු සංඝස්ස දෙම.

වත්තක් හෝ ඉඩමක් හෝ වැවක් හෝ පූජා කිරීමේදී සුදුසු පරිදි වාක්‍යය යොදා ගත යුතුය. පෞද්ගලික වශයෙන් දෙන කෙත්වතු පිළිගැනීම නුසුදුසුය. ගවාදි සතුන් පිළිගැනීම ද නුසුදුසු ය.

මායිම් වෙන් නො කළ ඉඩමක් පූජා කළ කල්හි භික්ෂූන් මායිම් වෙන් කරන්නට යාම නුසුදුසුය. භූමිය ඉතා අගනා වස්තුවෙකි. මායිම් වෙන් කරන්නට ගොස් අනුන්ගේ ඉඩමෙන් ස්වල්පයක් වුවද ගැනීමෙන් පාරාජිකාපත්තියට පැමිණීමට ද ඉඩ ඇත. එබැවින් පූජාකරු ලවා හෝ කැපකරුවන් ලවා හෝ රජයේ නිලධරයකු ලවා හෝ පූජා කළ ඉඩමේ මායිම් වෙන් කරවා ගත යුතුය.

නඩුකීම

නඩු කීම සම්බන්ධයෙන් වන ඇවැත් දැක්විය යුත්තේ ද්විතීය පාරාජිකා ශික්ෂාපදය හා භික්ෂුණී විභංගයේ උස්සයවාදිකා ශික්ෂාපදය අනුව ය. නඩුකීම සම්බන්ධයෙන් භික්ෂූන්ට විශේෂයෙන් පනවන ලද සිකපදයක් නැත. උස්සයවාදිකා ශික්ෂාපදය නඩුකීම සම්බන්ධයෙන් භික්ෂුණීන්ට පනවන ලද සිකපදයෙකි. එය එක්තරා ප්‍ර‍මාණයකින් භික්ෂූන්ට ද සාධාරණය. ඒ මෙසේය.

“යා පන භික්ඛුනී උස්සයවාදිකා විහරෙය්‍ය ගහපතිනා වා ගහපතිපුත්තෙන වා දාසෙන වා කම්මකාරෙන වා අන්තමසො සමණපරිබ්බාජකෙනාපි, අයං භික්ඛුණී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සංඝාදිසෙසං.”[274]

යම් මෙහෙණක් ගැහැවියකු හා හෝ ගැහැවිපුතකු හා හෝ දසකු හා හෝ කම්කරුවකු හා හෝ යටත් පිරිසෙයින් මහණ පිරිවැජියකු හා ද නඩු කියන්නියක්ව හැසිරෙන්නී ද ඒ මෙහෙණ විනිශ්චය අවසන් වනු සමඟ ම පැමිණීම ඇති භික්ෂුණී සංඝයා කෙරෙන් බැහැර කිරීමට සුදුසු වන සංඝාදිසේසාපත්තියට පැමිණියා වන්නීය.

යම් මෙහෙණක් ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ දාසයකුට හෝ කම්කරුවකුට හෝ යටත් පිරිසෙයින් බුදුසසුනෙන් පිටත පැවිදිබවක් ලබා සිටින පිරිවැජියකුට හෝ විරුද්ධව විනිසකරුවකු ඉදිරියේ නඩුවක් කීමට සිතා සහකාරයකු සොයා නම් දුකුළා ඇවැත් වේ. විනිසකරු වෙත යා නම් දුකුළා ඇවැත් වේ. එකකුගේ කථාව විනිසකරුට කීමෙන් දුකුළා ඇවැත් වේ. දෙවැන්නාගේ කථාව විනිසකරුට කීමෙන් ථුලැසි ඇවැත් වේ. නඩුවෙන් දිනුව ද පැරදුණ ද විනිශ්චයාවසානයේ දී මෙහෙණට සංඝාදිසේසාපත්ති වේ. මෙහෙණ විසින් ම දෙදෙනාගේ ම කථා විනිසකරුට කීව ද විත්තිකරු විසින් දෙදෙනාගේ කථාව විනිසකරුට කීව ද පළමු කථාවෙන් භික්ෂුණියට දුකුළා ඇවැත් ද දෙවන කථාවෙන් ථුලැසි ඇවැත් ද වේ. භික්ෂුණිය අනිකකු ලවා නඩුව කියවුව ද එසේ ම ඇවැත් වේ. එසේ කිරීමෙන් භික්ෂූන්ට තුන් තැනදී ම දුකුළා ඇවැත් වේ. සංඝාදිසේස නො වේ.

“අනාපත්ති මනුස්සෙහි ආකඩ්ඪියමානා ගච්ඡති, රක්ඛං යාචති, අනොදිස්ස ආචික්ඛති.”[275]

මෙසේ අනාපත්තිවාරයේ වදාරා ඇති බැවින් නඩුවක් සඳහා අන්‍යයන් විසින් භික්ෂුණිය විනිසකරු වෙත පමුණුවනු ලැබීම නිසා එහිදී තමාගෙන් විමසන කරුණක් විනිසකරුට කීමෙන් ද ආරක්ෂාව ඉල්ලීමෙන් ද පුද්ගල නියමයක් නො කොට තමාට කළ වරද පමණක් කීමෙන් ද ඇවැත් නො වේ.

භික්ෂුණිය වෙසෙන ස්ථානය අයිති කර ගැනීම් ආදිය සඳහා අනිකකු පැමිණිල්ලක් කිරීම පිණිස බලයෙන් භික්ෂුණිය විනිසකරු ඉදිරියට පැමිණ වූ විටෙක තමාගේ අයිතිය විනිසකරුට කීමෙන් ද අනිකාගේ කතාව විනිසකරුට කීමෙන් ද නඩුව තීන්දු කිරීමෙන් ද භික්ෂුණියට ඇවැත් නො වේ. ඇවැත් වන්නේ භික්ෂුණිය තමාගේ ඕනෑකමින් ම විනිසකරුට පැමිණිල්ලක් කළ හොත් ය.

පුද්ගලනියමයක් කොට පැමිණිලි කිරීම ය, පුද්ගල නියමයක් නැතිව පැමිණිලි කිරීමය යි පැමිණිලි කිරීම දෙයාකාර වේ. ආරාමයට වැද ගස්වල ගෙඩි කඩා ගැනීම, ගස්කපා ගැනීම, බඩු පැහැර ගැනීම ආදී යම්කිසි වරදක් අනිකකු කළකල්හි අසවලා අපට මේ වරද කෙළේය යි විනිසකරුවන්ට පැමිණිලි කිරීම පුද්ගල නියමයක් ඇතිව පැමිණිලි කිරීමය. එසේ පැමිණිලි කිරීම නුසුදුසු ය. එසේ පැමිණිල්ලක් කළ කල්හි විනිසකරු විත්තිකරුගෙන් දඩයක් අය කෙලේ නම් විත්තිකරුට ඒ අලාභය භික්ෂුණිය නිසා වූ බැවින් ඇය ඔහුට අලාභය ගෙවිය යුතුය, දඬුවම භික්ෂුණියගේ ඉල්ලීමෙන් නො කළ බැවින් ඈ පරිජි ඇවතට නො පැමිණේ. අලාභය නො ගෙවුව හොත් පසුව පරිජි ඇවත ද විය හැකිය. දඩ අය කරන බව නො දැන වුව ද පුද්ගලනියමය ඇතිව පැමිණිලි කිරීමෙන් යමකුට දඩ ගෙවන්නට සිදුවී නම් භික්ෂුණිය අලාභය ගෙවිය යුතුය.

ඇතැම්හු අපගේ ආරාමයේ ගස්වල ගෙඩි කඩා ගනිත්ය. ගස් කපා ගනිත්ය, බඩු පැහැර ගනිත්ය, අපට ආරක්ෂාව සලසා දෙන්නය යි විනිසකරුවන්ට සැලකරති. එසේ සැලකිරීම පුද්ගලනියමයක් නැතිව පැමිණිලි කිරීමය. එය පැවිද්දන්ට කැපය. විනිසකරු එසේ කරන්නෝ කවරහු දැ යි විචාළ හොත් පුද්ගලයන් කීම අපට අකැපය. ආරක්ෂාව පමණක් අපට ඇති කර දෙන්නයයි ද පැහැර ගත් අපගේ බඩුත් ලබා දෙන්නයයි ද කිය යුතුය. එසේ කී කල්හි විනිසකරු වරද කරුවන් සොයා ඔවුන්ගෙන් දඩ අය කළ ද ඔවුනගේ සකල සම්පත්තිය ම දඩ වශයෙන් ගත ද භික්ෂුණියට ඇවැත් නො වේ. ඇය අලාභයක් ද නො ගෙවිය යුතු ය.

තමාගේ දෙයක් සොරකු ගත් කල්හි අසවලා අපගේ මෙනම් භාණ්ඩය සොරා ගත්තේය. ඔහුට දඬුවම් නො කොට අපගේ භාණ්ඩය ගෙන්වා දෙන්නය යි තමාගේ වචනයට ගරු කරන විනිසකරුවකුට කීම සුදුසුය. එසේ කී කල්හි විනිසකරු සොරාගෙන් දඩ අය කෙළේ ද භික්ෂුණිය විසින් එය ගෙවිය යුතු නො වේ. ඇයට ඇවතක් ද නො වේ. සොරාගෙන් දඩ අය කරනු ඇතය සිතා පැමිණිල්ල කළ කල්හි සොරාගෙන් දඩ ගත ද භික්ෂුණිය පාරාජිකා නො වේ. සොරාට අලාභය ගෙවිය යුතු වේ. භික්ෂුණියගේ කීමෙන් විනිසකරු වරදකරුගෙන් පාරාජිකාවට වස්තු වන තරමේ දඩයක් ගත හොත් භික්ෂුණිය එකෙණෙහි පාරාජිකා වේ. අලාභය ගෙවා ඇවතින් නො මිදිය හැකිය. නඩු කීමෙන් භික්ෂූන්ට ඇවැත්වීම නො වීම කිය යුත්තේ ද භික්ෂුණීන් සම්බන්ධයෙන් කියන ලද කරුණු අනුව ම ය. වෙනස නඩු කීමෙන් භික්ෂූන්ට සංඝාදිසේසාපත්තියක් නො වීම පමණෙකි.

විනය ග්‍ර‍න්ථයන්හි නඩුකීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත්තේ අතීත කාලයේ පැවති අධිකරණ විනිශ්චය කිරීමේ ක්‍ර‍මයටය. මෙකල ඇත්තේ එයට වෙනස් අධිකරණ විනිශ්චය ක්‍ර‍මයකි. අපරාධයක් කළ කල්හි සොරකමක් කළ කල්හි මෙ කල පැමිණිලි කළ යුත්තේ විනිශ්චයකාරයාට නො ව පොලීසියට ය. විනිශ්චයකාරයා වෙත නඩුව පැමිණිලි කරන්නේ පොලීසිය ය. පොලීසියට පැමිණිලි කිරීම ද විනිසකරුට පැමිණිලි කිරීමට සමාන බව කිය යුතු ය.

සංඝයාට අයත් වූ හෝ තමාට පෞද්ගලික වශයෙන් අයත් වූ හෝ කප්පිය වස්තුවක් අනිකකු අල්ලාගෙන සිටිනා කල්හි එය තමාට ලබා දෙන ලෙස පොලීසියෙන් හෝ විනිසකරුවකුගෙන් හෝ ඉල්ලීම වරද නැත. සමහරවිට අනිකා ඒ අන්සතු වස්තුව තමාගේ දෙයක කියා ඔප්පු කිරීමට බොහෝ ධනය වියදම් කරනු ඇත. එයින් භික්ෂුවට වරදක් නො වේ. නඩු කියා අනුන් අයත් පන්සල් කෙත්වතු ආදිය අයිතිකර ගැනීම බරපතල කරුණෙකි. එයින් පාරාජිකා වේ.

“ආරාමං අභියුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. සාමිකස්ස විමතිං උප්පාදෙති. ආපත්ති ථුල්ලච්චයස්ස. සාමිකො න මං භවිස්සතීති ධුරං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො සාමිකං පරාජෙති. ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො පරජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස.”[276]

භික්ෂූන් විසින් විනිශ්චය කිරීමේදී පක්ෂයක් ගැනීමෙන් හෝ අල්ලස් ගෙන හෝ යම් භික්ෂුවක් හිමියා අහිමි කොට විනිශ්චය කෙළේ නම් විනිශ්චයකාර භික්ෂුවට ද පරිජි ඇවැත් වේ. එවැනි නඩුවකදී භික්ෂූන් බොරු සාක්කි කීවේ නම් ඔවුනට ද පාරාජිකාපත්තිය වේ. බොරු නඩුවකදී පැමිණිලි කරන විනිශ්චය කරන බොරු සාක්කි කියන භික්ෂූන් පාරාජිකා වන්නේ වස්තුවේ නියම හිමියා විනිශ්චය පිළිගෙන වස්තුව ගැන බලාපොරොත්තුව අත්හළ හොත්ය. වස්තුවේ නියම අයිතිකරු විනිශ්චය නො පිළිගෙන ඉදිරියට ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එතෙක් විනිශ්චයකාරාදි භික්ෂූහු පරිජි නො වෙති.

“දාසදාසීවාපි ආදීනං අත්ථාය අට්ටං කරොන්ති. අයං අකප්පිය අට්ටො නාම න වට්ටති.”[277]

දාසිදාසීන් හා වැව් කුඹුරු වතු ආදිය පිණිස නඩු කියා නම් එය අකැප නඩුවය. එබඳු නඩු භික්ෂූන්ට නො වටීය යනු එහි තේරුමය. එය නො වටීය යි දක්වා ඇත්තේ වස්තුව අකැප නිසාය. තමාට අයත් අකප්පිය වස්තුව පිළිබඳ ව නඩු කීමෙන් දුකුළා ඇවැත් වේ. පාරාජිකාවක් වැනි බරපතල දෙයක් නො වේ. සංඝයාහට කප්පිය විධියෙන් පූජා කර ඇති කෙත්වතු ආදිය පිළිබඳ අධිකරණයක් ඇති වුව හොත් පිළිපැදිය යුතු ආකාරය සාරත්ථදීපනි ටීකාවේ මෙසේ දක්වා ඇත්තේය.

“සචෙ අධිකරණට්ඨානං ගන්ත්වා අම්හාකං එසො දාසො දාසී වාසී ඛෙත්තං ආරාමො ආරාමවත්ථු ගාවො අජා කුක්කුටාති ආදිනා වොහරති, අකප්පියං. අයං අම්හාකං ආරාමිකා අයං වාපි ඉත්ථන්නාමෙන සංඝස්ස භණ්ඩධොවනත්ථාය දින්නා, ඉතො ඛෙත්තතො ආරාමතො උප්පජ්ජනකචතුපච්චයා ඉතො ගාවිතො මහිංසිතො අජතො උප්පජ්ජනකගොරසා ඉත්ථන්නාමෙන සංඝස්ස දින්නාති පුච්ඡිතෙ වා අපුච්ඡිතෙ වා වත්තුං වට්ටතීති වදන්ති.”[278]

තේරුම:

ඉදින් භික්ෂුවක් අධිකරණ විනිශ්චයස්ථානයට ගොස් මේ අපගේ දාසයෙකි, දාසියකි, වැවකි, කුඹුරකි, ආරාමයකි, ඉඩමකි, ගවයෝය, එළුවෝය, කුකුළෝය යනාදීන් කථා කෙරේ නම් එය අකැපය. මොහු අපගේ ආරාමිකයෙකි, මේ වැව මෙනම් ඇතියහු විසින් සංඝයාහට භාණ්ඩ සේදීම පිණිස දෙන ලද්දක්ය, මේ කුඹුරෙන් මේ වත්තෙන් උපදනා සිවු පසය මේ එළදෙනගෙන් මේ මී දෙනගෙන් මේ එළුදෙනගෙන් උපදනා ගෝරසයන් මෙනම් ඇතියහු විසින් සංඝයාහට දෙන ලද්දේය යි විචාළ කල්හි ද නො විචාළ කල්හි ද කීම වටනේය යි විනයධරයෝ කියති.

එසේ කීම සුදුසු බව වජිරඛුද්ධිටීකාවෙහි පැහැදිලි ලෙස කෙළින් ම කියා ඇත්තේ ය. මේ සම්බන්ධයෙන් විමතිවිනෝදනී ටීකාවේ දැක්වෙන්නේ මෙසේය.

“දාසාදීනම්පි අත්ථාය රක්ඛං යාචිතුං, වොහාරිකෙහි පුට්ඨෙන සංඝස්ස උප්පන්නං කප්පියක්කමං වත්තුං, ආරාමිකාදීහි ච අට්ටං කාරාපෙතුඤ්ච වට්ටති එව. විහාරවත්ථාදි කප්පියඅට්ටං පන භික්ඛුනො සයම්පි කාතුං වට්ටති.”[279]

තේරුම:

දාසාදීන් පිණිස ආරක්ෂාව ඉල්ලීමට ද විනිශ්චයකාරයන් විසින් විචාරන ලද්දේ සංඝයාහට ලැබුණු කැප ක්‍ර‍මය කරන්නට ද ආරාමිකාදීන් ලවා නඩු කියවන්නට ද වටනේ ම ය. විහාර, විහාරභූමි ආදි කප්පියවස්තූන් ගැන භික්ෂූන්ට තමා විසින් ම නඩු කියන්නට ද වටී.

වෙදකම් කිරීම

වෙදකම යහපත් ක්‍රියාවෙකි. එහෙත් සැමට ම වෙදකම් කිරීම භික්ෂූන්ට නුසුදුසු ය. භික්ෂූන් සාමාන්‍ය ජනයාට වෙදකම් කිරීම කුලදූෂණයට අයත්ය. කුලදූෂණය යනු මිනිසුන්ගේ ශ්‍ර‍ද්ධාව නැති කොට ඔවුන් කිලිටි කිරීමය. නරක් කිරීමය. ගිහියන් විසින් භික්ෂූන්ට ගරු බුහුමන් කළ යුත්තේ පූජාසත්කාර කළ යුත්තේ පැවිද්දන්ගේ ශීලසමාධ්‍යාදි ගුණ සලකාගෙනය. එසේ පැවිද්දන්ට ගරු බුහුමන් කිරීම පූජාසත්කාර කිරීම මහත් වූ කුශලයෙකි. භික්ෂුවගේ ශීලාදි ගුණ සිහි කොට සිත පහදා ගැනීම් මාත්‍ර‍ය ද ප්‍රිය චක්ෂුසින් භික්ෂුවක් දෙස බැලීම ද සසර බොහෝ සැපසම්පත් ලැබීමට හේතු වන පිනක් බව දක්වා ඇත්තේය.

“සීලාදිගුණයුත්තස්ස හි කටච්ඡුහික්ඛා’පි පඤ්චරතනමත්තාය භූමියා පණ්ණසාලාපි කත්වා දින්නා අනේකානි කප්පසහස්සානි දුගති විනිපාතො රක්ඛති, පරියොසානෙ ච අමතාය ධාතුයා පරිනිබ්බාණස්ස ච පච්චයො හොති.”[280]

යනුවෙන් ශීලාදිගුණයෙන් යුක්ත භික්ෂුවකට බත් සැන්දක් හෝ පස්රියන් බිමක අතුපැලක් සාදා හෝ දුන්නේ නම් එය කල්ප දහස් ගණනක් දුර්ගතියට වැටෙන්නට නො දී ආරක්ෂා කොට කෙළවර නිර්වාණ ප්‍ර‍තිලාභයටත් හේතු වන පිනක් වන බව දක්වා ඇත්තේ ය.

භික්ෂූන් ගිහියන්ට වෙදකම් කරත හොත් ඔවුන් භික්ෂූන්ට සලකන්නට වන්නේ ශීලාදිගුණ සලකාගෙන නොව වෙදකම සලකාගෙනය. එයින් ගිහියන්ට ලැබිය හැකිව තුබූ කුශලය නැති වන්නේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට වෙදකම් කිරීම ප්‍ර‍තික්ෂේප කොට ඇත්තේ ය. වෙදකම් කිරීමෙන් භික්ෂුවකට යමක් ලැබෙනවා නම් එය කුලදූෂණයෙන් ලැබෙන දෙයකි. එය ඒ භික්ෂුවට පමණක් නො ව සියලු ම භික්ෂූන්ට අකැප ය.

“අසන්තසම්භාවනාය වා කුලදූසකකම්මෙන වා කුහනාදීහි වා උප්පන්නපච්චයා නෙව තස්ස න අඤ්ඤස්ස වට්ටන්ති.”[281]

නැති ගුණ පැවසීමය, කුලදූෂණ කර්මය ය, කුහනාදිය ය යන මේවායින් උපන් ප්‍ර‍ත්‍යය ඔහුටත් අන්‍යයන්ටත් අකැපය යනු එහි තේරුමය.

වෙදකම් කිරීමය යි කියනුයේ වෙදකු වශයෙන් ප්‍ර‍සිද්ධියේ විශාල ලෙස වෙදකම් කිරීම ම නො වේ. හිසරදය ඇතය කියා ආවකුට හිස ගල්වා ගැනීමට තමාට ලැබී ඇති තෙල් ටිකක් දීම වුව ද, සෙම්ප්‍ර‍තිශ්‍යාව සැදී ඇති කෙනකුට කොත්තමල්ලි ටිකක් තම්බා බොන්නය යි කීම වුව ද වෙදකම් කිරීමය. එපමණකින් ද භික්ෂුවට දුකුළා ඇවැත් වේ. භික්ෂූන් විසින් වෙදකම් කළ යුත්තෝ ද ඇත.

“ආගතාගතස්ස පරජනස්ස භෙසජ්ජං න කාතබ්බං, කරොන්තො දුක්කටං ආපජ්ජති. පඤ්චන්නං පන සහධම්මිකානං කාතබ්බං, භික්ඛුස්ස භික්ඛුණියා සාමණෙරස්ස සාමණෙරියා සික්ඛමානායාති. සමසීලසද්ධාපඤ්ඤානං හි එතෙසං තීසු සික්ඛාසු යුත්තානං භෙසජ්ජං අකාතුං න ලබ්භති.”[282]

ආ ආ අන්‍යජනයාට වෙදකම් නො කළ යුතුය. කරන්නේ දුකුළා ඇවතට පැමිණේ. භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී ශික්ෂමානා යන පස් සහදැමියන්ට බෙහෙත් කළ යුතුය. සමාන ශීල ශ්‍ර‍ද්ධා ප්‍ර‍ඥා ඇති ත්‍රිශික්ෂාවෙහි යෙදුණා වූ ඔවුනට බෙහෙත් නො කර සිටීමට නො ලැබේ. කළ යුතුම ය.

ඔවුනට බෙහෙත් කිරීමේදී ඔවුන් වෙත ද්‍ර‍ව්‍ය ඇත්තේ නම් ඒවා ගෙන බෙහෙත් පිළියෙළ කොට දිය යුතුය. නැත්තේ නම් තමා අයත් දෙය ගෙන බෙහෙත් කළ යුතුය. ඉදින් තමා වෙත ද නැත්තේ නම් පැවරූ අයගෙන් හෝ නෑයන්ගෙන් හෝ සොයා බෙහෙත් කළ යුතුය. එසේ ද නො ලද හොත් නො පැවරූ අයගෙන් වුව ද ඉල්ලා බෙහෙත් කළ යුතුය.

“අපරෙසම්පි පඤ්චන්නං කාතුං වට්ටති, මාතා පිතු තදුපට්ඨාකානං අත්තනො වෙය්‍යාවච්චකරස්ස පණ්ඩුපලාසස්සාති.”[283]

අන්‍ය වූ ද පස් දෙනෙකුන්ට බෙහෙත් කිරීම වටනේය. මවටය, පියාටය, ඔවුනට උපස්ථාන කරන්නවුන්ටය, තමාගේ වැඩ කරන්නාටය, පන්ඩුපලාසයාටය යන මොවුන්ටය.

පණ්ඩුපලාස යනු පැවිදිවීමේ බලාපොරොත්තුවෙන් පාසිවුරු පිළියෙල කෙරෙන තුරු විහාරයේ වෙසෙන තැනැත්තාය. ඉදින් මාපියෝ පොහොසත්හු වෙත් නම් භික්ෂුවගෙන් කිසිවක් බලාපොරොත්තු නො වෙත් නම් ඔවුනට බෙහෙත් නො කිරීමෙන් වරද නැත. මාපියෝ රජව සිටිනාහු ද ඉදින් පුත්‍ර‍ භික්ෂුවගෙන් බෙහෙත් බලාපොරොත්තු වෙත් නම් ඔවුනට බෙහෙත් කළ යුතුය. බෙහෙත් යොදා ගන්නට නො දනිත් නම්, පිළියෙළ කරදිය යුතුය. පිළියෙළ කරදීමට බෙහෙත් ද්‍ර‍ව්‍ය මාපියන්ට නැත්තේ නම් සහදැමියන්ට කී පරිද්දෙන් බෙහෙත් සොයා ඔවුනට උපස්ථාන කළ යුතුය. ඉදින් මව විහාරයේ ම තබාගෙන ප්‍ර‍තිකාර කරන්නේ නම් ඇගේ ශරීරය ස්පර්ශ නො කෙරෙමින් උපස්ථාන කළ යුතුය. පියාට වනාහි සාමණේරයකුට උපස්ථාන කරන්නාක් මෙන් සියතින් ම නෑවීම් ඇඟ පිරිමැදීම් ආදිය කරමින් උපස්ථාන කළ යුතුය. තමාගේ මාපියන්ට උපස්ථාන කරන අයකු ගිලන් වූයේ නම් ඔහුට මාපියන්ට සේ ම උපස්ථාන කළ යුතුය. වැටුප් ගෙන භික්ෂුවකගේ වැඩ කරන සේවකයකු ගිලන් වුව හොත් ඔහුගේ නෑයන් හමුවන තුරු ඔහුට බෙහෙත් කළ යුතුය. වැටුප් නො ගෙන භික්ෂූන් ඇසුරෙහි ම වෙසෙමින් භික්ෂූන්ට උපස්ථාන කරන්නකු ගිලන් වුව හොත් ඔහුට රෝගය සුව වන තුරු බෙහෙත් කළ යුතුය. උපස්ථාන කළ යුතුය. පණ්ඩුපලාසයාට වනාහි සාමණේර නමකට මෙන් උපස්ථාන කළ යුතුය. බෙහෙත් කළ යුතුය.

“අපරෙසම්පි දසන්නං කාතුං වට්ටති, ජෙට්ඨභාතු කණිට්ඨභාතු ජෙට්ඨභගිනියා කණිට්ඨ භගිනියා චූළමාතුයා මහාමාතුයා චූළපිතුනො මහා පිතුනො පිතුච්ඡාය මාතුලස්සාති.”[284]

අන්‍ය වූ ද දශදෙනකුන්ට බෙහෙත් කිරීම වටනේය. දෙටුසොහොයුරාටය, කනිටුසොහොයුරාටය, දෙටු සොහොයුරියටය, කනිටුසොහොයුරියටය, සුළුමවට ය, මහමවටය, සුළුපියාටය, මහපියාටය, පියාගේ සොහොයුරියටය. මවගේ සොහොයුරියටය යන මොවුන්ටය.

ඒ සැමදෙනට බෙහෙත් කිරීමේදී ඔවුන්ගේ ම බෙහෙත් ද්‍ර‍ව්‍ය ගෙන යොදා දිය යුතුය. ඉදින් ඔවුන්ගේ බෙහෙත් ද්‍ර‍ව්‍ය ප්‍ර‍මාණ නො වී නම් නුඹ වහන්සේට නැවත සපයා දෙන්නෙමු යි භික්ෂුවගෙන් බෙහෙත් ඉල්ලත් නම් තාවකාලික වශයෙන් ඔවුනට බෙහෙත් දිය යුතුය. ඔවුන් නො ඉල්ලත් නම් අපගේ බෙහෙත් ඇත, ඒවා තාවකාලික වශයෙන් ගනිත්වා යි කියා ඔවුනට දිය හැකි වූ විටෙක දෙනු ඇතැයි සලකා දිය යුතුය. ඉදින් නො දෙන්නාහු නම් චෝදනා නො කළ යුතුය. සත්වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරු මුණුබුරන්ගෙන් ප්‍ර‍ත්‍යය ගෙන්වා ගැනීමෙන් ද බෙහෙත් පිළියෙළ කර දීමෙන් ද ඇවැත් නො වේ. සහෝදරයාගේ භාර්‍ය්‍යාව හෝ නැගණියගේ සැමියා හෝ ගිලන් වී නම් ඔවුහු ද නෑයෝ වෙත් නම් ඔවුනට ද බෙහෙත් කළ හැකිය. ඉදින් නෑයෝ නො වෙත් නම් බෙහෙත් පිළියෙළ කොට සහෝදරයාට හා සහෝදරියට දිය යුතුය. භික්ෂුවගේ අතින් ඔවුනට නො දිය යුතුය. නුඹලාගේ මාපියන්ට දෙන්නය කියා ඔවුන් ගේ දරුවන්ට හෝ බෙහෙත් පිළියෙළ කරදිය යුතුය. තමාගේ නෑයන්ගේ ප්‍රයෝජනය සඳහා සාමණේරයන් ලවා බෙහෙත් පිළියෙළ කරවනවා නම් වනයෙන් හෝ බෙහෙත් ගෙන්වනවා නම් ඤාතිසාමණේරයන් ලවා කරවිය යුතුය. තමා පිණිස හෝ පිළියෙළ කරවා ගෙන්වා ඒ ඤාතීන්ට තමාගේ දෙයක් ලෙස දිය යුතුය. සාමණේරයන් විසින් ද ගුරුවරයාගේ වැඩක් ලෙස සලකා එය කළ යුතු ය.

උපාධ්‍යායයාගේ මව හෝ පියා ගිලන්ව විහාරයේ පැමිණියේ නම් ඒ අවස්ථාවෙහි උපාධ්‍යාචාර්‍ය්‍යවරයා විහාරයේ නැත්තේ නම් සද්ධිවිහාරිකයන් විසින් උපාධ්‍යායයාට අයත් බෙහෙත් ගෙන ඔවුනට දිය යුතුය. උපාධ්‍යායයාගේ බෙහෙත් නැත්තේ නම් තමන්ගේ බෙහෙත් උපාධ්‍යායයාට පරිත්‍යාග කොට උපාධ්‍යායයාගේ දෙයක් ලෙස ඔවුනට දිය යුතුය. තමන් වෙත ද බෙහෙත් නැත්තේ නම් ඉහත කී පරිදි බෙහෙත් සොයා උපාධ්‍යායයාට පරිත්‍යාග කොට උපාධ්‍යායයාගේ දෙයක් දෙන ලෙස ඔවුනට දිය යුතුය. ඉදින් සද්ධිවිහාරිකයා විහාරයේ නැති විටෙක ඔහුගේ මව හෝ පියා ගිලන්ව විහාරයට පැමිණියේ නම් උපාධ්‍යායයා විසින් ද එසේ පිළිපැදිය යුතුය.

“අඤ්ඤොපි යො ආගන්තුකො වා චොරො වා යුද්ධපරාජිතො ඉස්සරො වා ඤාතකෙහි පරිච්චත්තො කපණො වා ගමිය මනුස්සො වා ගිලානො හුත්වා විහාරං පවිසති අපච්චාසිංසන්තෙන භෙසජ්ජං කාතබ්බං.”[285]

අන්‍ය වූ ද ආගන්තුකයෙක් හෝ සොරෙක් හෝ යුද්ධපරාජිත අධිපතියෙක් හෝ නෑයන් විසින් හළ දිළිඳු මිනිසෙක් හෝ ගිලන්ව විහාරයට පැමිණියේ නම් ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු නො වී හුදු කරුණාවෙන් ම බෙහෙත් කළ යුතුය.

භික්ෂූන්ට මාපියන් මෙන් ආදරයෙන් උවටැන් කරන සැදැහැවත් පවුලක කෙනකු ගිලන් වී විශ්වාසයෙන් බෙහෙත් කර දෙන ලෙස කීව ද බෙහෙත් නො කළ යුතුය. ඉදින් ඔවුහු භික්ෂූන්ගෙන් බෙහෙත් අසා ගැනීමට සුදුසු ක්‍ර‍මය දැන අසවල් රෝගයට කිනම් බෙහෙත් දෙත්දැ යි විචාළ හොත් මේ මේ බෙහෙත් දෙතිය යි කිය යුතුය. “ස්වාමීනි, අපගේ මෑණියෝ ගිලන්ව සිටිති. බෙහෙත් කිව මැන” යි කියුව හොත් බෙහෙත් නො කිය යුතුය. එහෙත් උපායයෙන් බෙහෙත් කීම සුදුසුය. එය කරන්නේ මෙසේය: අසවල් භික්ෂුවට මේ රෝගය ඇති වූ කල්හි දුන්නේ කිනම් බෙහෙත් දැයි සමීපයේ සිටින භික්ෂුවකගෙන් විචාළ යුතුය. ඒ භික්ෂුව විසින් මේ මේ දෑ දුන්නයෙ යි කිය යුතුය. ඉදින් ඒ භික්ෂුව නො දනී නම් ඒ රෝගයට දුන් බෙහෙත් මේවාය යි තමා කිය යුතුය. එය අසා ගෙන ඒ තැනැත්තාට මවට බෙහෙත් කළ හැකියි. එසේ උපායයෙන් බෙහෙත් කීමෙන් වරද නො වේ. උපායයෙන් බෙහෙත් කීම සම්බන්ධයෙන් විනය අටුවාවෙහි දක්වා ඇති කථාවක් මෙසේ ය. වසභ රජුගේ දේවියට රෝගයක් විය. එකල්හි එක් ස්ත්‍රියක් මහාපදුම තෙරුන් වහන්සේ වෙත අවුත් රාජදේවියට පිළියම් විචාළ කල්හි ඇයට කෙළින් ම බෙහෙත් නො කියා බෙහෙත ගැන භික්ෂූන් හා සාකච්ඡා කළහ. එය අසා සිට දේවියට ඒ බෙහෙත් කළහ. ඒ බෙහෙත්වලින් රෝගය සුව වූ පසු දේවිය තුන්සිවුරු හා කහවණු තුන්සියක් ද සහිත බෙහෙත් පැසක් ගෙනවුත් තෙරුන්වහන්සේගේ පාමුල තබා “ස්වාමීනි, මල්පූජාවක් කළ මැනව” යි කීවාය. තෙරුන් වහන්සේ මෙය ආචාර්‍ය්‍යභාගය යි කප්පිය ක්‍ර‍මයෙන් ගන්වා මල්පූජාවක් කළහ. මෙතෙකින් දක්වන ලද්දේ සමන්තපාසාදිකාවේ දක්වා ඇති බෙහෙත් කිරීම සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ක්‍ර‍මය ය.

පිරිත් කීම.

පිරිත් කීම වනාහි වෙදකමට තරමක් සමාන දෙයකි. එය ලාභාපේක්ෂාවෙන් කට්ටඩිකමක් සේ කිරීම නුසුදුසුය. එහෙත් එය ජනයාට යහපතක් වන පරිද්දෙන් කළ යුතුය. සුදුසු පරිදි නො කියන පිරිතෙහි ද අනුහසක් බලයක් නැත. පිරිත කිය යුතු ආකාරය ආටානාටිය සූත්‍ර‍ අටුවාවෙහි මෙසේ දැක්වේ.

“අත්ථම්පි පාළිම්පි විසංවාදෙත්වා සබ්බසොවා පන අපගුණං කත්වා භණන්තස්සහි පරිත්තං තෙජවන්තං න හොති.

සබ්බසො පගුණං කත්වා භණන්තස්සෙව තෙජවන්තං හොති. ලාභහෙතු උග්ගහෙත්වා භණන්තස්සා පි අත්ථං න සාධෙති. නිස්සරණපක්ඛෙ ඨත්වා ඉමං පරිත්තං මෙත්තං පුරෙචාරිකං කත්වා භණන්තස්සෙව අත්ථාය හොති.”[286]

තේරුම:

අර්ථයත් පාළියත් වරදවා හොඳින් ප්‍ර‍ගුණ කර නො ගෙන කියන්නහුගේ පිරිත ආනුභාව සම්පන්න නො වේ.

සර්වාකාරයෙන් ප්‍ර‍ගුණ කර කියන්නහුගේ පිරිත ම ආනුභාව ඇත්තේ වේ. ලාභය හේතු කොට උගෙන කියන්නහුගේ පිරිතෙන් ද අර්ථසිද්ධිය නො වේ. නිස්සරණපක්ෂයෙහි සිට මෛත්‍රිය පෙරටු කොට කියන්නහුගේ පිරිත ම අර්ථසිද්ධිය කරන්නේ ය.

පිරිත් කියන ඇතැමුන්ට පිරිත හරියටම පාඩම් නැත. අල්ප අකුර මහාප්‍රාණ කොට මහාප්‍රාණ අකුර අල්ප ප්‍රාණ කොට ද කියති. වචන මැදින් කඩා එක වචනය වචන දෙකක් කොට ද කියති. එක් වචනයට අකුරක් අනික් වචනයකට එකතු කර කියති. “සග්ගෙසු වායං” යනු “සග්ගෙ සුවායං” යි කීම වචනයක අකුරක් අන් වචනයකට එකතු කිරීමය. මහාකාරුණිකො යන්න “මහාකාරුණිකො”යි කීම වචනය දෙකට කඩා කීමය. එසේ කියන පිරිතෙහි අනුසස් නැත. පාඩම් හරියට ඇත ද තේරුමක් නො දැන කියන පිරිතෙහි ද අනුහස නැත. පාඩමත් හරියට ඇතිව තේරුමත් දැන කියන පිරිත වුව ද මෛත්‍රිය පෙරදැරි නො කොට ලාභාපේක්ෂාවෙන් හෝ මිනිසුන්ගේ කරදරයෙන් ගැලවීමේ අදහසින් හෝ කියන්නේ නම් එහි ද අනුහස නැත.

විහාරයේදී හෝ ගෙයකට පැමිණ හෝ පිරිත් කියන්නට ආරාධනා කළ හොත් කීම සුදුසුය. පිරිත් නූල් පිරිත් පැන් පිරිත් තෙල් මිනිසුන් ගෙන ආ කල්හි ඔවුනගේ ම නූල්වලට වතුරවලට තෙල්වලට පිරිත් කර දිය යුතුය. “විහාරෙ උදකං වා අත්තනො සන්තකං සුත්තං වා දෙති දුක්කටං”[287] යි විහාරයේ දිය හෝ තමා අයත් නූල් හෝ දෙයි නම් දුකුළා ඇවැත් ය යි දක්වා ඇත්තේ ය. විහාරයේ වතුරය කියනුයේ භික්ෂූන්ගේ ප්‍ර‍යෝජනය පිණිස භාජනවලට ගෙනැවිත් තබා ඇති වතුරය. විහාරස්ථානයේ ළිං පොකුණුවලින් ගිහියෝ වතුර ගෙනෙත් නම් ඒවා පිරිත් කර දීම සුදුසු ය.

අමනුෂ්‍යෝපද්‍ර‍ව දුරු කිරීමට පිරිත් කීම සුදුසුය. එය කළ යුතු පිළිවෙළ දක්වා ඇත්තේ මෙසේ ය. යමකුට අමනුෂ්‍ය දෝෂයක් ඇත්තේ නම් ඔහුට මෙත්තසුත්ත ධජග්ගසුත්ත රතනසුත්ත යන මේ සූත්‍ර‍ තුන සත්දිනක් කිය යුතුය. සත්දිනක් කිය යුතුය කියනුයේ රෑ දාවල් දෙක්හි නො නවත්වා කීම නොව දවසට වර බැගින් හෝ දෙවර බැගින් හෝ කීම ය. මෙසේ පිරිත් කියන කල්හි සමහර විට දෙතුන් දිනකින් ම අමනුෂ්‍යයා යනු ඇත. සතියක් පිරිත් කීමෙන් ද නො ගිය හොත් ආටානාටිය සූත්‍ර‍ය කිය යුතුය. එය කියන භික්ෂුව එදින මස් නො වැළඳිය යුතුය. පිටි කෑම නො වැළැඳිය යුතු ය. සොහොනෙහි නො විසිය යුතුය. පිරිත කියන තැන පිරිසිදු කරවා අසුනක් පනවවා එහි හිඳගත යුතුය. පිරිත කියන භික්ෂුව ගෙට වැඩමවා ගෙන යන කල්හි ආයුධගත්තවුන් පිරිවර කොට වැඩමවා ගත යුතුය. එළිමහනෙහි පිරිත නො කිය යුතුය. ‍දොර කවුළු වැසූ ගෙයි හිඳ ආවුධ ගතුව්න පිරිවර කොට හිඳ මෛත්‍රිය පෙරටු කොට පිරිත කිය යුතුය. පළමුවෙන් ආතුරයාට සිල් සමාදන් කරවා ශීලයෙහි පිහිටි ආතුරයාට පිරිත කිය යුතුය. එසේ කරන කල්හි සමහර විට භූතයා ආතුරයා හැර යනු ඇත. ඇතැම් භූතයෝ එපමණකින් ද නො යෙති.

එයින් ද භූතයා නො යේ නම් ආතුරයා විහාරයට ගෙන්වා සෑමලුවෙහි හිඳුවා මලසුන්වල මල් ආදිය පූජා කරවා පහන් දල්වවා සෑමලුව හැමද මංගල ගාථා සජ්ඣායනා කළ යුතුය. සියලු භික්ෂූන්ට එහි රැස්වන ලෙස හඬ නැඟිය යුතුය. සමීපයේ වෙසෙන සියලු භික්ෂූන් එහි පමුණුවා ගත යුතුය. ඉක්බිති විහාරයට සමීප තැනක පිහිටි දෙවියකු ඇතැය යි සැලකෙන දෙටු ගසක් වෙත “ඔබගේ පැමිණීම මහා සංඝයා වහන්සේ බලාපොරොත්තු වෙතිය, කියා දෙවියාට දැන්වීමට දූතයකු යැවිය යුතුය. සංඝසන්නිපාතස්ථානයට දෙවියන් පැමිණිය යුතුය. ඉක්බිති අමනුෂ්‍යයා ආවේශ වී සිටින්හුගෙන් නුඹේ නම කුමක් දැ යි විචාළ යුතුය. භූතයා නම කියනු ඇත. ඉන්පසු ආතුරයාගේ නම ගෙන කථා නො කොට භූතයා කී නම ගෙන එනමින් ඔහුට කථා කොට “ඔබ මේ මල්පහන් සුවඳදුම් පිදීමේ පින් අනුමෝදන් වන්න. ඔබට පඬුරු පිණිස මහාසංඝයා වහන්සේ මංගල ගාථා සජ්ඣායනා කළහ. ඔබ මහා සංඝයා කෙරෙහි, ගෞරවයෙන් මේ ආතුරයා අතහැර යන්නය”යි කිය යුතුය. සංඝයා එසේ කී කල්හි භූතයා යා යුතුය. එයින් ද භූතයා ආතුරයා හැර නො යේ නම් දෙවියන් අමතා මේ අමනුෂ්‍යයා අපගේ කීමට අනුකූල නො වන්නේය. එබැවින් අපි බුද්ධාඥාව කරන්නෙමුය යි හඬ නගා කියා ආටානාටිය සූත්‍ර‍ය සජ්ඣායනා කළ යුතුය. මේ විනය අටුවාවෙහි හා දීඝනිකායට්ඨකථාවෙහි[288] දක්වන ලද පිරිත් කීමේ වතය.

ආටානාටිය ආරක්ෂාවටය කියා වෙසවුණු මහ රජතුමා දුන්නේ ‘විපස්සිස්ස නමත්ථු’ යනාදී ගාථාවේ පටන් “තස්මා එවං වදෙමසෙ ජිනං වන්දථ ගොතමං ජිනං වන්දාම ගොතමං විජ්ජාචරණසම්පන්නං බුද්ධං වන්දාම ගොතමං” යන්න දක්වා ඇති පාළියය. ‘එවං මෙ සුතං’ යනාදිය හා ‘අය ඛො මාරිස ආටානාටියා රක්ඛා’ යනාදිය ආරක්ෂා පිණිස සජ්ඣායනා කළ යුතුය. එය පිරිතට අයත් නො වේ.

චෝදනා කිරීම පිළිබඳ ශික්ෂාපද.

“න භික්ඛවෙ, අනොකාසකතො ආපත්තියා චොදෙතබ්බො, යො චොදෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, ඔකාසං කාරාපෙත්වා, ආපත්තියා චොදෙතුං, කරොතු මෙ ආයස්මා ඔකාසං අහං තං වත්තුකාමොති.”[289]

මහණෙනි, අවකාශ නො කළ භික්ෂුව ඇවතින් චෝදනා නො කළ යුතුය. යමෙක් චෝදනා කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, අවසර ගෙන චෝදනා කරන්නට අනුදනිමි. ඇවැත්නි, මම ඔබට කියනු කැමැත්තෙමි. ආයුෂ්මතා මට අවකාශ කෙරෙත්වා. මෙසේ අවසර ගත යුතුය.

චෝදනා කරන්නෝ නොයෙක් අදහස් වලින් චෝදනා කරති. ශ්‍ර‍මණධර්මයෙන් පහකිරීමේ අදහසින් චෝදනා කරති. ආක්‍රෝශ කිරීමේ අදහසින් චෝදනා කරති. කර්ම කිරීමේ අදහසින් චෝදනා කරති. ආපත්තියෙන් නැගිටවීමේ අදහසින් චෝදනා කරති. උපෝසථ පවාරණ තැබීමේ අදහසින් චෝදනා කරති. විනිශ්චය කිරීමේ අදහසින් චෝදනා කරති. දහම් දෙසීමේ අදහසින් චෝදනා කරති. තවත් නොයෙක් අදහස්වලින් චෝදනා කරති. ඒ අදහස්වලින් මුලින් කී සතරෙන් අවසර නො ගෙන චෝදනා කරන්නහුට දුකුළා වේ. අවසර ගෙන ද සම්මුඛයෙහි අමූලකපාරාජිකාපත්තියෙන් චෝදනා කරන්නහුට සංඝාදිසේසාපත්ති වේ. අමූලක සංඝාදිසේසයෙන් චෝදනා කරන්නහුට පචිති වේ. අමූලක ආචාරවිපත්තියෙන් චෝදනා කරන්නහුට දුකුළා වේ. ආක්‍රෝශ කිරීම සඳහා චෝදනා කරන්නහුට පචිති වේ. අසම්මුඛයෙහි සප්තාපත්තිස්කන්ධයෙන් ම චෝදනා කරන්නහුට දුකුළා වේ.

ඇවැත්නි, ඔබ ඇවතකට පැමිණ ඇත, එයට පිළියම් කරගන්නය යි අවසර නො ගෙන ද කිය හැකිය. උපෝසථපවාරණ තැබීමේ අදහසින් චෝදනා කිරීම අවසර නො ගෙන කළ හැකිය. උපෝසථපවාරණ තැබීමය යනු නුසුදුසු භික්ෂුවක් සීමාවෙහි සිටීම නිසා පොහෝපවාරණ නැවැත්වීමය. පොහෝපවාරණ නැවැත්වීම කළ යුත්තේ සුදුසු තැනදීය. එය සැමතැනදීම නො කළ හැකිය. සංඝයා සීමාවට රැස්ව පොහෝ කිරීම සඳහා “සුණාතු මෙ භන්තෙ සංඝො, අජ්ජුපොසථො පණ්ණරසො යදි සංඝස්ස පත්තකල්ලං සංඝො උපොසථං කරෙය්‍ය” යි කියති. මේ වාක්‍යයෙහි “කරෙය්‍ය” යන වචනයේ “රෙ” කාරය කියා අවසන් කරන්නට පෙර පොහොය කිරීම නැවැත්විය හැකිය. “ය්‍ය” කාරය කීමෙන් පසු නො නැවැත්විය හැකිය. පවාරණය නැවැත්වීම ද එසේය. අධිකරණයක් විනිශ්චය කිරීමේදී යම්කිසිවක් විචාරීමට අවසර ගැනීම නුවුවමනාය. මේ මේ දේවල් කරන්නෝ අශ්‍ර‍මණයෝය යනාදීන් පුද්ගලයකු නො ගෙන දහම් දෙසන්නහුට අවසර ගැනීම නුවුවමනාය. ධර්මාසනයෙහි හිඳ අසවල් අසවල් අය ශ්‍ර‍මණයෝය යි පුද්ගලයන් ගෙන කියන ධර්මකථිකයාට ඇවැත් වේ. චෝදනා කරන්නට අවසර ඉල්ලුව ද සුදුසු පුද්ගලයකුට මිස සැමට ම අවසර නො දිය යුතු ය.

“පඤ්චහුපාලි, අංගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුං. කතමෙහි පඤ්ච? අපරිසුද්ධකායසමාචාරො හොති, අපරිසුද්ධචීසමාචාරො හොති. අපරිසුද්ධාජීවො හොති. බාලො ච හොති අඛ්‍යත්තො, න පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතුං ඉමෙහි ඛො උපාලි පඤ්චහංගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කරොන්තස්ස නාලං ඔකාසකම්මං කාතුං.”[290]

උපාලි, චෝදනාවට අවසර ඉල්ලන්නා වූ පඤ්චාංගයෙන් යුක්ත භික්ෂුවට අවසර දීම නුසුදුසුය. කවර පඤ්චාංගයකින් ද යත්? අපරිශුද්ධකායසමාචාර ඇත්තේ වේ ද, අපරිශුද්ධවාක්සමාචාර ඇත්තේ වේ ද, අපරිශුද්ධාජීවය ඇත්තේ වේ ද, අව්‍යක්ත බාලයෙක් වේ ද, විමසන කල්හි පිළිතුරු දීමට නො සමත් වේ ද: උපාලි, මේ පඤ්චාංගයෙන් යුක්ත භික්ෂුව අවකාශ ඉල්ලන්නේ ද දීමට නුසුදුසුය. චෝදනාවට අවසර දිය යුත්තේ පරිශුද්ධකායසමාචාර ඇති බව යනාදි පඤ්චාංගයෙන් යුක්ත භික්ෂුවට ය.

“චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මේ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො, කතමෙ පඤ්ච? කාලෙන වක්ඛාමි නො අකාලෙන, භූතෙන වක්ඛාමි නො අභූතෙන, සණ්හෙන වක්ඛාමි නො ඵරුසෙන, අත්ථසංහිතෙන වක්ඛාමි නො අනත්ථසංහිතෙන, මෙත්තචිත්තො වක්ඛාමි නො දොසන්තරො, චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මේ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො.”[291]

උපාලි අනුන්ට චෝදනා කරනු කැමති භික්ෂුව තමා කෙරෙහි කරුණු පසක් තබාගෙන චෝදනා කළ යුතුය. කවර කරුණු පසක් ද? සුදුසු කාලයෙහි කියමිය - අකාලයෙහි නො කියමිය, ඇති දෙයක් කියමිය - නැති දෙයක් නොකියමිය, මෘදු ලෙස කියමිය - කර්කශ ලෙස නො කියමිය, යහපතක් වන දෙයක් කියමිය - නපුරක් වන දෙයක් නො කියමිය. මෛත්‍රියෙන් කියමිය -ද්වේෂයෙන් නො කියමිය, උපාලි අනුන්ට චෝදනා කරන භික්ෂුව මේ කරුණු පස තමා තුළ තබා ගෙන චෝදනා කළ යුතුය.

චෝදනාව ඉදිරිපත් කිරීමට සුදුසු කාලය චෝදනා කරනු ලබන භික්ෂුව තනිව සිටින කාලයය. පිරිසක් මැද සිටින කාලය චෝදනාවට නුසුදුසු කාලයය.

“චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මේ අජ්ඣත්තං මනසිකරිත්වා පරො චොදෙතබ්බො. කතමෙ පඤ්ච? කාරුඤ්ඤතා, හිතෙසිකා, අනුකම්පතා, ආපත්ති වුට්ඨානතා, විනයපුරෙක්ඛාරතා, චොදකෙනුපාලි භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං මනසිකරිත්වා පරො චොදෙතබ්බො.”[292]

උපාලි අනුන්ට චෝදනා කරන භික්ෂුව විසින් කරුණු පසක් තමාගේ සිතෙහි ඇති කරගෙන අනුන්ට චෝදනා කළ යුතුය. කවර පසක් ද? කරුණාව ඇති බවය, යහපත කරන බවය, යහපතෙහි යොදවන බවය, ආපත්තියෙන් නඟා සිටවන බවය, විනය පෙරටු කොට ඇති බවය යන මේ කරුණු පස සිතෙහි ඇති කරගෙන අනුන්ට චෝදනා කළ යුතුය.

දුට්ඨදෝස සංඝාදිසේසය.

“යො පන භික්ඛු භික්ඛුං දුට්ඨො දොසො අප්පතීතො අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙය්‍ය අප්පෙව නාම නං ඉම්ම්හා බ්‍ර‍හ්මචරියා චාවෙය්‍යන්ති, තතො අපරෙන සමයෙන සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා අමූලකඤ්චෙව තං අධිකරණං හොති භික්ඛු ච දොසං පතිට්ඨාති සංඝාදිසෙසො.”[293]

යම් මහණෙක් දූෂ්‍ය වූ සිත් ඇත්තේ අනුන් පෙළෙන සිත් ඇත්තේ ප්‍රීති සුඛ රහිත වූයේ මොහු මේ සසුනෙන් පහ කළ හැකි වුව හොත් යෙහෙකැයි භික්ෂුවකට අමූලක පාරාජිකා ආපත්තියෙන් චෝදනා කෙරේ ද ඉන්පසු අන්‍යාවස්ථාවක පරීක්ෂා කරන ලද්දේ හෝ පරීක්ෂා නො කරන ලද්දේ හෝ එය අමූළක අධිකරණයක් වේ ද බොරු චෝදනාව කළ භික්ෂුව මා කීයේ බොරුවකැයි වරද පිළිගනී ද ඒ භික්ෂුවට සංඝාදිසේසාපත්තියක් වේ.

බොරු චෝදනා කරන භික්ෂුව තමා බොරු කී බව පිළිගත ද නො ගත ද චෝදනා කරනු සමඟ ම සංඝාදිසේසාපත්තිය වේ. චෝදක භික්ෂුව චූදිතක භික්ෂුවගේ ඉදිරියේ සිට අවසර නො ගෙන චෝදනා කරන කල්හි චෝදනා කිරීම අසන භික්ෂුව තේරුම් ගත්තේ නම් සංඝාදිසේසයක් හා දුක්කටයක් වේ. අවසර ගෙන චෝදනා කිරීමෙන් සංඝාදිසේසය පමණක් වේ. අනභිමුඛයේ චෝදනා කිරීම ගණනට නො පැමිණේ.

දුතිය දුට්ඨදෝස සංඝාදිසේසය.

“යො පන භික්ඛු භික්ඛුං දුට්ඨො දොසො අප්පතීතො අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙය්‍ය, අප්පෙවනාම නං ඉමම්හා බ්‍ර‍හ්මචරියා චාවෙය්‍යන්ති. තතො අපරෙන සමයෙන සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා අඤ්ඤාභාගියං චෙව තං අධිකරණං හොති කොචිදෙසො ලෙසමත්තො උපාදින්නො භික්ඛු ච දොසං පතිට්ඨාති, සංඝාදිසෙසො.”[294]

මෙත්තිය භුම්මජක නමැති භික්ෂූන් දෙදෙන දබ්බමල්ලපුත්ත නමැති භික්ෂූන් වහන්සේ හා විරුද්ධයෝය. පළමුවන දුට්ඨදෝස සිකපදය පනවන ලද්දේ ඔවුන් දබ්බමල්ලපුත්ත භික්ෂුවට මෙත්තිය නමැති භික්ෂුණිය ලවා පාරාජිකාපත්තියෙන් චෝදනා කිරීම නිමිත්ත කොටය. එයින් දබ්බමල්ලපුත්ත භික්ෂුවට හානියක් කිරීමට නො හැකි වූහ. දිනක් ඔවුහු ගිජුකුළු පවුවෙන් බැස එන්නාහු එළුවකුගේ හා එළුදෙනකගේ සංවාසයක් දැක දබ්බමල්ලපුත්තට චෝදනා කිරීමට මෙය හොඳ කරුණකැයි එළුවාට දබ්මල්ලපුත්තය යි ද එළුදෙන මෙත්තිය යි ද නම් තැබූහ. ඉදින් ඔවුහු “දබ්බමල්ලපුත්ත හා මෙත්තිය අනාචාරයේ හැසිරෙනු අපි දුටුවෙමු” යි භික්ෂූන්ට කීහ. මේ දෙවන දුට්ඨදෝස සිකපදය පනවන ලද්දේ ඒ නිසාය. අන්‍යයන්ගේ ක්‍රියාවක් භික්ෂුවකට ආරෝපණය කොට චෝදනා කෙළේ නම් සංඝාදිසේසාපත්ති වේ.

“යො පන භික්ඛු භික්ඛුං අමූලකෙන සංඝාදිසෙසෙන අනුද්ධංසෙය්‍ය පාචිත්තියං.”[295]

යම් මහණෙක් භික්ෂුවකට අමූලක සංඝාදිසේසාපත්තියෙන් චෝදනා කෙරේ නම් පචිති වේ.

භික්ෂූන් හා හැසිරීම පිළිබඳ සිකපද

“යො පන භික්ඛු සංඝිකෙ විහාරෙ ජානං පුබ්බූපගතං භික්ඛුං අනුපඛජ්ජ සෙය්‍යං කප්පෙය්‍ය, යස්ස සම්බාධො භවිස්සති සො පක්කමිස්සතී ති, එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං පාචිත්තියං.”[296]

යම් මහණෙක් සඟසතු විහාරයෙහි පළමු පැමිණ සිටින භික්ෂුව නැගිටවීමට නුසුදුස්සෙකැයි දැන යමකුට අවහිර වේ නම් ඔහු යන්නේ ය යි එය ම කාරණය කොට අනිකක් කරුණු නො කොට එහි පිවිස ශයනය කෙරේ නම් පචිති වේ.

සඟසතු විහාරයෙහි අසුන් ගෙන සිටින වැඩිමහලු භික්ෂුවය, ගිලන් භික්ෂුවය, සංඝයාට කරන උපකාර සලකා සංඝයා විසින් සම්මත කොට තැනක් දී ඇති භික්ෂුවය යන මොවුහු නැගිටවීමට නුසුදුස්සෝය. පළමුවෙන් විහාරයෙහි වෙසෙන භික්ෂුව නො නැගිටවිය යුත්තකු බව දැන ඒ භික්ෂුවට අවහිර කිරීම පිණිස යම් භික්ෂුවක් ඒ නො නැගිටවිය යුතු භික්ෂුවගේ ආසනය සමීපයේ අසුනක් පනවා ගෙන හිඳින්නේ නම් පචිති ඇවැත් වේ. එවැනි භික්ෂුවක් වෙසෙන විහාරයකට පිවිසිය හොත් පළමු සිටින භික්ෂුවට අවහිර නො වන පරිදි විසිය යුතුය. පළමු භික්ෂුව යනෙන මාර්ගවලට අවහිර නො වන පරිදි අසුනක් පනවා ගත යුතුය. පළමු වෙසෙන භික්ෂුවගේ අසුනට දෙරියන් හමාරකට වඩා ළං කොට අසුනක් නො පැනවිය යුතුය. අවහිර වන පරිදි අසුන පැනවීමේදී දුකුළා අවැත් ද එහි හිඳගැනීමේ දී ශයනය කිරීමේදී පචිති ඇවැත් ද වේ.

“යො පන භික්ඛු භික්ඛුං කුපිතො අනන්තමනො සංඝිකා විහාරා නික්කඩ්ඩෙය්‍ය වා නික්කඩ්ඩාපෙය්‍ය වා පාචිත්තියං.”[297]

යම් මහණෙක් කිපියේ නො සතුටු සිත් ඇත්තේ මහණකු සඟසතු විහාරයෙන් බැහැර කරන්නේ හෝ බැහැර කරවන්නේ හෝ වේ නම් පචිති වේ.

කාමරයක වෙසෙන භික්ෂුව පිලට ඇද දැමීමෙන් ද පිලෙහි සිටින භික්ෂුව පිටතට ඇද දැමීමෙන් ද පචිති වේ. භික්ෂුව බැහැර කරන දොර ගණනට පචිති වේ. අනුන් ලවා බැහැර කරවීමෙහි දී එසේ ම ය. භික්ෂුවගේ ශරීරයට අත නො තබා නික්මෙන්නය යි කියා බැහැර කිරීමෙන් ද එසේ ම පචිති වේ. ඒ භික්ෂුවගේ බඩු විහාරයෙන් පිට කිරීමේ දී කරවීමේ දී දුක්කටාපත්ති වේ.

විහාරයේ උපචාරයෙන් හෝ උපස්ථානශාලාවෙන් හෝ මඩුවෙන් හෝ ගසමුලින් හෝ එළිමහනෙන් හෝ බැහැර කිරීමෙන් ද කරවීමෙන් ද ඒ භික්ෂුවගේ පිරිකර බැහැර කිරීමෙන් හා කරවීමෙන් දුක්කටාපත්ති වේ. අනුපසම්පන්නයකු බැහැර කිරීමෙන් ද ඔහුගේ පිරිකර බැහැර කිරීමෙන් ද දුක්කටාපත්ති වේ.

“අනාපත්ති අලජ්ජිං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. තස්ස පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. උම්මත්තකං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. තස්ස පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. භණ්ඩනකාරකං -පෙ- කලහකාරකං -පෙ- විවාදකාරකං -පෙ- භස්සකාරකං -පෙ- සංඝෙ අධිකරණකාරකං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. තස්ස පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. අන්තෙවාසිකං වා සද්ධිවිහාරිකං වා න සම්මා වත්තන්තං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. තස්ස පරික්කඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා.”

අලජ්ජියාය, උම්මත්තකයාය, වියවුල් ඇති කරන්නාය, කෝලාහල කරන්නාය, විවාද කරන්නාය, කෝලාහල ඇති කරන කථා කරන්නාය, සංඝයා කෙරෙහි අධිකරණ ඇතිකරන්නාය, මනා කොට නො හැසිරෙන සද්ධිවිහාරිකයාය, මනා කොට නො හැසිරෙන අන්තේවාසිකයාය යන මොවුන් සංඝික විහාරයෙන් බැහැර කිරීමෙන් ද කරවීමෙන් ද ඔවුන්ගේ පිරිකර බැහැර කිරීමෙන් හා කරවීමෙන් ද ඇවැත් නොවන බව ඉහත දැක්වූ පාඨයෙන් දක්වන ලද්දේය.

“අංගුලිපතොදකෙ පාචිත්තියං.”[298]

සිනැස්සවීම සඳහා භික්ෂුවකට කිතිකැවුව හොත් පචිති වේ. අනුපසම්පන්නයකුට කිතිකැවීමෙන් දුක්කටාපත්ති වේ.

“අනාදරියෙ පාචිත්තියං.”[299]

පුද්ගලයාට ධර්මයට අනාදර කිරීමෙන් පචිති වේ. උපසම්පන්නයකු විසින් උපසම්පන්නයකුට බුද්ධ ප්‍ර‍ඥප්තිය දක්වා යමක් කියන කල්හි එය පිළිගැනීමට නො කැමැත්තේ පුද්ගලයාට හෝ ධර්මයට හෝ අනාදර කරන්නහුට පචිති ඇවැත් වේ. විනය ප්‍ර‍ඥප්තිය හැර අනිකකින් අනුශාසනා කිරීමේදී අනාදර කිරීමෙන් හා අනුපසම්පන්නයකු කියන කල්හි අනාදර කිරීමෙන් දුකුළා වේ.

“යො පන භික්ඛු භික්ඛුං හිංසාපෙය්‍ය පාචිත්තියං.”[300]

යම් මහණෙක් මහණකු බිය ගන්වා නම් පචිති වේ. උපසම්පන්නයෙක් උපසම්පන්නයකු බිය ගැන්වීම සඳහා භයානක රූපාදිය එළවා නම් බිය උපදනා කතා කියා නම් භික්ෂුව බිය වුව ද නො වුව ද පචිති වේ. අනුපසම්පන්නයන් බිය ගැන්වීමෙන් දුකුළා වේ.

“යො පන භික්ඛු භික්ඛුස්ස කුපිතො අනත්තමනො පහාරං දදෙය්‍ය පාචිත්තියං.”[301]

යම් භික්ෂුවක් කිපියේ නො සතුටු සිත් ඇතියේ භික්ෂුවකට පහර දේ නම් පචිති වේ. යම් භික්ෂුවක් කිපී භික්ෂුවකට කයින් හෝ කයින් ගත් වස්තුවකන් හෝ යමක් දමා ගැසීමෙන් හෝ යටත් පිරිසෙයින් මලකින් වුව ද පහර දේ නම් පචිති වේ. අනුපසම්පන්නයකුට කිපී පහර දේ නම් දුකුළා ඇවැත් වේ. අනුපසම්පන්න ශිෂ්‍යයන්ට වුව ද තිරිසන් සතුන්ට වුව ද පහර දීමෙන් දුකුළා ඇවැත් වේ. රාගසිතින් ස්ත්‍රීන්ට පහරදීමෙන් සංඝාදිසේසාපත්ති වේ. තමාට හිංසා කරන කල්හි එයින් මිදීම සඳහා පහර දීමෙන් ඇවැත් නො වේ. මාර්ගයේ දී සොරකු හෝ සතුරකු ලුහුබැඳ එන කල්හි ඔහු නැවැත්වීමට පහරදීමෙන් මළේ ද පරිජි ඇවැත් නො වේ.

“යො පන භික්ඛු භික්ඛුස්ස කුපිතො අනත්තමනො තලසත්තිකං උග්ගිරෙය්‍ය පාචිත්තියං.”[302]

යම් මහණෙක් කිපියේ නො සතුටු සිත් ඇත්තේ භික්ෂුවකට පහර දෙන ආකාරය දක්වා අත්පා හෝ දඬු ආදියක් හෝ ඔසවා නම් පචිති ඇවැත් වේ. අනුපසම්පන්නයකුට කිපී පහර දෙන ආකාරය දක්වා අත්පා ආදිය එසවීමෙන් දුකුළා ඇවැත් වේ. තමාට හිංසා කරන කල්හි එසවීමෙන් ඇවැත් නො වේ.

“යො පන භික්ඛු භික්ඛුස්ස සඤ්චිච්ච කුක්කුච්චං උපදහෙය්‍ය ඉතිස්ස මුහුත්තම්පි අඵාසු භවිස්සතීති එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං පාචිත්තියං.”[303]

යම් මහණෙක් මෙසේ කීමෙන් මොහුට මඳ වෙලාවකට වුව ද අපහසුවක් වන්නේ ය යි සිතා එය ම කරුණු කොට භික්ෂුවකට සැක උපදවා නම් පචිති වේ. අනික් කරුණක් සඳහා කියා නම් පචිති නො වේ.

ඔබට වැඩි වයසක් නැතිවා වගේය, ඔබ උපසම්පදා වී ඇත්තේ විසිවසක් පිරීමට පෙර සේය, ඔබ ආහාර වැළඳූයේ විකාලයක් වගේය යනාදි වචන භික්ෂුවකට සැක ඇති කොට සිතට කරදර කරනු පිණිස කියන්නහුට වචනයක් පාසා පචිති ඇවැත් වේ. අනුපසම්පන්නයකුට සැක ඇති කිරීමේ කතා කිරීමෙන් දුකුළා වේ.

“යො පන භික්ඛු භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨෙය්‍ය යං ඉමෙ භණිස්සන්ති තං සොස්සාමීති එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං පාචිත්තියං.”[304]

යම් මහණෙක් මොවුහු යමක් කියත් නම් එය අසමියි එය ම කරුණු කොට අනිකක් කරුණු නො කොට හටගත් ඩබර ඇත්තා වූ හටගත් කෝලාහල ඇත්තා වූ ඒ නිසා ම විවාදයට පැමිණ ඇත්තා වූ භික්ෂූන්ගේ කථා ඇසෙන ප්‍ර‍මාණයට පැමිණ සිටින්නේ නම් පචිති වේ.

යම් යම් කරුණුවලින් ඔවුනොවුන් විරුද්ධව සිටින භික්ෂූන් කථා කරන තැන්වලට ගොස් ඔවුන්ගේ කථා අසා සිටීමෙන් පචිති වේය යනු මෙහි අදහස ය.

මොවුන්ගේ කථා අසා මොවුනට චෝදනා කරමිය යන අදහසින් විවාදයට පැමිණ සිටින භික්ෂූන්ගේ කථා ඇසීමට යන භික්ෂුවට, යාමෙන් දුකුළා ඇවැත් වේ. නැවතී ඇසීමෙන් පචිති ඇවැත් වේ. විවාදාපන්න භික්ෂූන් කථා කරමින් ගමන් කරන කල්හි ඔවුන්ගේ කථා ඇසීමට පසුව යන භික්ෂුව වේගයෙන් යේ නම් දුකුළා ඇවැත් වේ. ඇසෙන තැනට පැමිණ ඇසීමේදී පචිති වේ. කතා කරමින් ගමන් කරන විවාදාපන්න භික්ෂූන්ගේ ඉදිරියෙන් ගමන් කරන භික්ෂුව ඔවුන්ගේ කථා ඇසීමේ අදහසින් නවතී නම් දුකුළා ඇවැත් වේ. නැවතී ඇසීමේදී පචිති වේ. භික්ෂුවක් සිටින සමීපයට හෝ හිඳින සමීපයට හෝ නිදන සමීපයට හෝ විවාදාපන්න භික්ෂූන් පැමිණ ඒ භික්ෂුව ඇති බව නො දැන කථාව පටන් ගතහොත් කැහීමෙන් හෝ කෑරීමෙන් හෝ අන් ක්‍ර‍මයකින් හෝ තමා එහි ඇති බව ඒ භික්ෂූන්ට හැඟවිය යුතුය. එසේ නො කොට ඔවුන්ගේ කථා ඇසා සිටී නම් පචිති වේ. විවාදයට පැමිණ ඇති අනුපසම්පන්නයන්ගේ කථා ඇසීමෙන් දුකුළා ඇවැත් වේ. විවාද සන්සිඳීම සඳහා අසන්නහුට සමගි කිරීම සඳහා අසන්නහුට ඇවැත් නො වේ.

“යො පන භික්ඛු ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජෙය්‍ය පාචිත්තියං.”[305]

යම් මහණෙක් විනය අනුව කරන සංඝකර්මයන්ට ඡන්දය දී පසුව ගර්හා කරන්නේ නම් පචිති වේ.

අපලෝකනකම්ම, ඤත්තිකම්ම, ඤත්තිදුතියකම්ම, ඤත්තිචතුත්ථකම්මය යි භික්ෂූන් විසින් කිරීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් නියමිත කර්ම සතර කොටසක් ඇත්තේය. ඒවායින් කවරක් හෝ කිරීමට, කලින් ඡන්දය දී පසුව කර්මයට හෝ කර්මය කළ සංඝයාට හෝ ගර්හා කිරීමෙන් පචිති වේ. කර්මයක් කිරීමට නුසුදුසු පුද්ගලයකුට කළ කර්මයට ද, වර්ගකර්මයට ද, අධර්මකර්මයට ද ගර්හා කිරීමෙන් ඇවැත් නො වේ.

“යො පන භික්ඛු සංඝෙ විනිච්ඡයකථාය වත්තමානාය ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමෙය්‍ය පාචිත්තියං.”[306]

යම් මහණෙක් සංඝයා කෙරෙහි විනිශ්චයකථාවක් පවත්නා කල්හි ඡන්දය නො දී අසුනෙන් නැඟී යේ නම් පචිති වේ.

එක් සීමාවක රැස් වූ භික්ෂූසංඝයාට ඉදිරිපත් වූ යම්කිසි අධිකරණයක් විනිශ්චය කරන කල්හි එය නිමවෙන තෙක් කාලය හා කර්මයක් කරත හොත් කර්මවාක්‍යය කියමින් සිටින කාලය සංඝයාගේ විනිශ්චය කථාව පවත්නා කාලයය. යම් භික්ෂුවක් ඒ කාලය තුළදී ඒ සංඝකර්මයට බාධා කරනු පිණිස කාරණය අවුල් කරනු පිණිස නැගිට යේ නම් යාමේදී දුකුළා ඇවැත් ද සංඝයාගේ අත් පසින් බැහැර වීමේදී පචිති ඇවැත් ද වේ.

මේ විනිශ්චයෙන් මේ කර්මයෙන් සංඝයා අතර අවුල් ඇති වේය කියා නැගිට යන්නහුට ද, අධර්ම කර්මයක් නිසා නැගිට යන්නහුට ද, වර්ගකර්මයක් නිසා නැගිට යන්නහුට ද, ගිලන් බව නිසා ද, ගිලනකුගේ කටයුත්තක් සඳහා ද මලමුත්‍ර‍ කරනු පිණිස ද පසුව එන අදහසින් යන්නහුට ද ඇවැත් නො වේ.

“යො පන භික්ඛු සමග්ගෙන සංඝෙන චීවරං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජෙය්‍ය යථා සන්ථුතං භික්ඛු සංඝිකං ලාභං පරිණාමෙන්තීති පාචිත්තියං.”[307]

යම් මහණෙක් එක් සීමාවෙක් හි සමාන සංවාසක සංඝයා හා සිට භික්ෂුවකට සිවුරක් දී පසුව භික්ෂූහු තමතමන් හා මිත්‍ර‍යන් වූ පරිදි සංඝලාභයන් පිරිනමතියි ගර්හා කෙරේ නම් ඒ භික්ෂුවට පචිති වේ.

සංඝයා විසින් සෙනසුන් පැනවීම් ආදි යම්කිසිවකට සම්මත කරන ලද භික්ෂුවකට සිවුරක් දීම ගැන ගර්හා කිරීමෙන් පචිති ද, අන් පිරිකරක් දීම ගැන ගර්හා කිරීමෙන් දුකුළා ද, සම්මත කරන ලද අනුපසම්පන්නයකුට සිවුරක් හෝ අන් පිරිකරක් දීම ගැන ගර්හා කිරීමෙන් දුකුළා ඇවැත් ද වේ.

සංඝයා භේදකිරීම.

“යො පන භික්ඛු සමග්ගස්ස සංඝස්ස භෙදාය පරක්කමෙය්‍ය භෙදනසංවත්තනිකං වා අධිකරණං සමාදාය පග්ගය්හ තිට්ඨෙය්‍ය, සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො, “මා ආයස්මා සමග්ගස්ස සංඝස්ස භෙදාය පරක්කමි, භෙදනසංවත්තනිකං වා සමාදාය පග්ගය්හ අට්ඨාසි, සමෙතායස්මා සංඝෙන, සමග්ගොහි සංඝො සම්මොදමානො අවිවදමානෙ එකද්දෙසො ඵාසු විහරතී” ති එවඤ්ච සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්‍ය, සො භික්ඛු භික්ඛූහි යාවතතියං සමනුභාසිතබ්බො තස්ස පටිනිස්සග්ගාය. යාව තතියඤ්චෙ සමනුභාසියමානො තං පටිනිස්සජ්ජෙය්‍ය ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජ්ජෙය්‍ය සංඝාදිසෙසො”[308]

යම් මහණෙක් සමගි සංඝයාගේ භේදය පිණිස උත්සාහ කෙරේද, භේදයට හේතු වන අධිකරණයක් හෝ ගෙන ඔසවා සිටීද, ඒ මහණ භික්ෂූන් විසින් මෙසේ කිය යුතු වන්නේ ය. ආයුෂ්මතා සමගි සංඝයාගේ භේදය පිණිස උත්සාහ නො කරව, භේදය පිණිස පවතින අධිකරණයක් ගෙන ඔසවා නො සිටුව, ආයුෂ්මතා සංඝයා හා සමාන අදහස් ඇත්තේ වේවා. සමගි වූ සංඝතෙමේ සතුටු වන්නේ වාද නො කරන්නේ එක්ව පාමොක් උදෙසීම ඇත්තේ සුවසේ වෙසේය කියා ය. ඒ මහණ මෙසේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ ද භේදය පිණිස පවතින අධිකරණය එසේ ම ගෙන සිටින්නේ නම් ඒ මහණ අන්‍ය භික්ෂූන් විසින් ඒ උත්සාහය හා ඒ අධිකරණය අත හැරීම පිණිස තුන්වර දක්වා සමනුභාෂණය කළ යුත්තේය. තුන්වර දක්වා සමනුභාෂණය කරනු ලබන්නේ එය අත්හරී නම් යහපති. ඉදින් අත් නො හරී නම් සංඝාදිසේසාපත්ති වේ.

සංඝභේදයට තැත් කරන භික්ෂුව දක්නා භික්ෂූන් විසින් ද ඒ කරුණ ඇසූ භික්ෂූන් විසින් ද භේදක භික්ෂුවට එය අත්හරින ලෙස තුන්වර දක්වා කිය යුතුය. කී කල්හි එය නො හළේ නම් දුකුළා ඇවැත් වේ. ඇසූ දුටු භික්ෂූහු නො කියත් නම් ඔවුනට ද දුකුළා ඇවැත් වේ. සංඝභේදයට තැත් කරන භික්ෂුව සඟමැදට පමුණුවා ද තුන්වර දක්වා කිය යුතු ය. එයින් ද නො හළේ නම් දුකුළා ඇවැත් වේ. එසේ කීමෙන් ද භේද කිරීමේ උත්සාහය නො හරනා භික්ෂුවට සමනුභාෂණකර්මය කළ යුතුය. නො හළේ නම් කර්මාවසානයෙහි සංඝාදිසේසාපත්ති වේ.

සංඝභේදය කෙළේ නම් උපසම්පදාවෙන් පහ වූ පිළියමක් නැති ඒකාන්තයෙන් නරකයට යන පුද්ගලයෙක් වේ.

භේදානුවර්තක ශික්ෂාපදය.

“තස්සෙව ඛො පන භික්ඛුස්ස භික්ඛු හොන්ති අනුවත්තකා වග්ගවාදකා එකො වා ද්වේ වා තයො වා. තෙ එවං වදෙය්‍යුං, “මා ආයස්මන්තෙ එතං භික්ඛුං කිඤ්චි අවචුත්ථ, ධම්මවාදී චෙසො භික්ඛු විනයවාදී චෙසො භික්ඛු, අම්හාකඤ්චෙසො භික්ඛු ඡන්දං ච රුචිං ච ආදාය වොහරති, ජානාති, නො භාසති, අම්හාකං පෙතං ඛමතී”ති තෙ භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයා, “මා ආයස්මන්තො එවං අවවුත්ථ, න චෙසො භික්ඛු ධම්මවාදී න චෙසො භික්ඛු විනයවාදී, මා ආයස්මන්තානම්පි සංඝභෙදො රුච්චිත්ථ, සමෙතායස්මන්තො සංඝෙන, සමග්ගො හි සංඝො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරතී” ති එවං ච තෙ භික්ඛු භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්‍යුං, තෙ භික්ඛු භික්ඛූහි යාව තතියං සමනුභාසිතබ්බා තස්ස පටින්සග්ගාය, යාව තතියං චෙ සමනුභාසියමානා තං පටිනිස්සජ්ජෙය්‍යුං ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජ්ජෙය්‍යුං සංඝාදිසෙසො.”[309]

ඒ සංඝභේදය කිරීමට උත්සාහ කරන භික්ෂුවට අනුව පිළිපදින්නා වූ අසමගියට පක්ෂ කථා කරන්නා වූ එක් නමක් වූ හෝ දෙනමක් වූ හෝ තෙනමක් වූ හෝ භික්ෂූහු වෙත් ද ඒ භික්ෂූහු “ආයුෂ්මත්නි, ඒ භික්ෂුවට කිසිවක් නො කියව්. ඒ භික්ෂු තෙමේ ධර්මවාදියෙකි, විනයවාදියෙකි, ඔහු අපගේ ද කැමැත්ත හා සතුට ද ගෙන කථා කරයි, අපගේ කැමැත්ත දනී, මෙසේ කරමු යි අප හා කථා කරයි, අපට ද ඔහු කරන දෙය රුචිය, මෙසේ කියත් නම් ඒ භේදානුවත්තක භික්ෂූහු අන්‍ය භික්ෂූන් විසින් “ඇවැත්නි, මෙසේ නො කියව්, ඒ මහණ ධර්මවාදී නොවේ. විනයවාදී නොවේ. ආයුෂ්මත් හට ද සංඝභේදය රුචි නො වේවා. ආයුෂ්මත්හුගේ සිත් සංඝයා හා සමවේවා. සමගි වූ සංඝ තෙමේ සතුටු වූයේ විවාද නැත්තේ සමාන පාමොක් උදෙසීම් ඇත්තෙ සුවසේ වෙසේය”යි කිය යුත්තාහ. ඒ භික්ෂූහු භික්ෂූන් විසින් මෙසේ කියනු ලබන්නාහු එසේ ම තමාගේ මතය ගෙන සිටිත් නම් ඒ භික්ෂූහු භික්ෂූන් විසින් තුන්වර දක්වා සමනුභාෂණය කළ යුත්තෝ ය. තුන්වර දක්වා සමනුභාෂණය කරනු ලබන්නාහු ඒ භේදානුවත්තකභාවය අත්හරින්නාහු එය යහපති, ඉදින් අත නො හරින්නාහු නම් සංඝාදිසේසාපත්ති වේ.

මෙහි භික්ෂූන් එක්නමක් දෙනමක් තුන්නමක් ගෙන ඇත්තේ සතරනමක් වුවහොත් සංඝයා වන නිසා සමනුභාෂණකර්මය නො කළ හැකි බැවිනි. සංඝාදිසේසාපත්තිය වන්නේ සංඝයා විසින් සමනුභාෂණ විනය කර්මය කළ හොත්ය.

පාපදෘෂ්ටි ගැනීම පිළිබඳ ශික්ෂාපද

තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවෙසෙන සමයයෙහි අරිට්ඨ නමැති භික්ෂුවකට එක්තරා පාපදෘෂ්ටියක් ඇතිවිය. එනම් මේ ගිහියෝ කාමයන් සේවනය කෙරෙමින් ම සෝතාපන්නයෝ ද සකෘදාගාමිහු ද වෙති, අනාගාමීහු ද වෙති, භික්ෂූහු ද මනාප රූපයන් දකිමින් ම මනාප ශබ්දයන් අසමින් ම මනාප ගන්ධයන් ආඝ්‍රාණය කරමින් ම මනාප රසයන් ආස්වාදනය කරමින් ම මනාප ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් ස්පර්ශ කරමින් ම සෝවාන් වෙති. සකෘදාගාමී වෙති. අනාගාමි වෙති. රහත් වෙති. “සුවපහස් ඇති කොට්ට මෙට්ට ඇතිරිලි ආදිය කැප නම් ස්ත්‍රී ස්පර්ශය අකැප වන්නට කරුණක් නැත, එයත් කැපවිය යුතුය යනු අරිට්ඨ භික්ෂූන්ට ඇති වූ පාපදෘෂ්ටිය ය. ඔහු තථාගතයන් වහන්සේ විසින් භික්ෂූන්ට සුවපහස් ඇති කොට්ට මෙට්ට ඇතිරිලි ආදිය අනුදැනීම ස්ත්‍රී ස්පර්ශය ද කැප බව දක්වන බුද්ධදේශනාවක් සේ සැලකීය. ඔහු ඒ ලාමකදෘෂ්ටිය භික්ෂූන්ට කියන්නට විය. භික්ෂූන් නොයෙක් ආකාරයෙන් ඒ පාපදෘෂ්ටිය හරනා පරිදි ඔහුට අනුශාසනා කළ මුත් අරිට්ඨ තමා ගත් දෘෂ්ටිය නො හළේය. භික්ෂූන් ඒ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි මේ සිකපදය පනවා වදාළහ.

“යො පන භික්ඛු එවං වදෙය්‍ය, තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායාති, සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො, මා ආයස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, නහි සාධු භගවතො අබ්භක්ඛානං, නහි භගවා එවං වදෙය්‍ය, අනෙකපරියායෙන ආවුසො අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා, අලං ච පන තෙ පටිසෙවතො අන්තරායායාති. එවඤ්ච පන සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්‍ය, සො භික්ඛු භික්ඛූහි යාව තතියං සමනුභාසිතබ්බො, තස්ස පටිනිස්සග්ගාය, යාවතතියං චෙ සමනුභාසියමානො තං පටිනිස්සජ්ජෙය්‍ය, ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජෙය්‍ය පාචිත්තියං.”[310]

යම් මහණෙක් ස්වර්ගමෝක්ෂ ධ්‍යාන මාර්ගඵලයන්ට අන්තරායිකය යි, යම් ධර්ම කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද සේවනය කරන්නහුට ස්වර්ගමෝක්ෂධ්‍යානමාර්ගඵලයන්ට අන්තරාය කිරිමට ඒ ධර්මයෝ නො සමත් වෙතිය යි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනය කරන ලද ධර්මයක් මම දනිමියි කියා නම් ඒ භික්ෂුතෙම භික්ෂූන් විසින් මෙසේ කිය යුතු වන්නේය. ඇවැත එසේ නො කියව. භාග්‍යවතුන් වහන්සේට නින්දා නො කරව. භාග්‍යවතුන් වහන්සේට නින්දා කිරීම නො මැනවි. භාග්‍යවතුන් වහන්සේ එසේ නො කියන්නාහ, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අන්තරායික ධර්මයෝ අන්තරායකරය යි අනේකාකාරයෙන් වදාරන ලද්දාහු ය, සේවනය කරන්නාහට අන්තරාය කිරීමට ඒ ධර්මයෝ සමර්ථය යි කිය යුතුය. භික්ෂූන් විසින් මෙසේ කියන ලද කල්හි ද ඒ භික්ෂුව එසේ ම ඔහුගේ අදහස ගෙන සිටී නම් ඒ මහණ භික්ෂූන් විසින් ඒ දෘෂ්ටිය අත හැරීම පිණිස තුන්වර දක්වා සමනුභාෂණය කළ යුතුය. තුන්වර දක්වා සමනුභාෂණය කරනු ලබන්නේ ඒ දෘෂ්ටිය හරී නම් එය යහපති. ඉදින් නො හරනේ නම් පචිති වේ.

සනුභාෂණකර්මය පාචිත්තිය පාළියෙන් දත හැකි වනු ඇත. කර්ම ක්ලේශ විපාක උපවාද ආඥා ව්‍යතික්‍ර‍මණ වශයෙන් ස්වර්ගමෝක්ෂධ්‍යානමාර්ගඵලයන්ට අන්තරායකර ධර්ම පසක් ඇත්තේ ය. කර්ම නම් ආනන්තර්යකර්ම පසය. එයින් යම්කිසිවක් කළ පුද්ගලයාට දෙවන ජාතියේ සුගතියට යාමට ද වර්තමාන භවයේදී ධ්‍යානමාර්ගඵල ලැබීමට ද නුපුළුවන. එය අන්තරායික ධර්මයෙකි. භික්ෂුණී දූෂණය ද අන්තරායික කර්මයෙකි. ක්ලේශ යනු නියත මිථ්‍යාදෘෂ්ටිය ය. එනම් නාස්තික අහේතුක අක්‍රිය යන දෘෂ්ටි තුනය. විපාක යනු අහේතුක ප්‍ර‍තිසන්ධිචිත්තය ය. එයින් ප්‍ර‍තිසන්ධි ලබන්නෝ පණ්ඩක නපුංසකාදීන් හා ආපායික සත්ත්වයෝ ය. ඔවුනට ඒ ආත්මයේදී ධ්‍යානමාර්ගඵල නො ලැබිය හැකිය. උපවාද යනු ආර්යෝපවාදය ය. එනම් ආර්යපුද්ගලයන්ට නින්දා කිරීම් ආදි වරද කිරීමය. ආඥාව්‍යතික්‍ර‍මණය යනු බුදුරදුන්ගේ ආඥාව කඩ කිරීමය. එනම් ඇවැත්වලට පැමිණීමය. මෛථුන සේවනයෙන් වන පාරාජිකාපත්තිය ආඥාව්‍යතික්‍ර‍මණ අන්තරාය ය.

මෛථුන සේවනය බලවත් රාගයෙන් කරන ක්‍රියාවෙකි. රාගයෙන් තොරව කෙරෙන මෛථුන සේවනයෙක් නැත. එය කරන්නහුගේ සිත එයට හා ඒ පිළිබඳ කටයුතුවලට ඇදීයයි. ධ්‍යානභාවනාදියට නො යයි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ එයට පාරාජිකාපත්තිය පැනවූහ. සුව පහසු ඇති කොට්ට මෙට්ට ඇතිරි ආදිය රාගයෙන් තොරව ද පරිභෝග කළ හැකිය. ඒවා පරිභෝග කිරීම ශ්‍ර‍මණ ප්‍ර‍තිපදාවට බාධාවක් නො වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඒවා පරිභෝග කිරීම අනුදැන වදාළ සේක. මෛථුන සේවනයේ හා සුඛස්පර්ශය ඇති කොට්ට මෙට්ට ආදිය පරිභොගයේ ඉමහත් වෙනසක් ඇත්තේය. භික්ෂුවක් එබඳු දෘෂ්ටියක් ප්‍ර‍කාශ කරන විට එය අසා ඔහුට අවවාද නො කරන්නා වූ භික්ෂූන්ට ද දුකුළා ඇවැත් වේ. එය නො පිළිගැනීමෙන් දෘෂ්ටිය ප්‍ර‍කාශ කරන භික්ෂුවට ද දුකුළා ඇවැත් වේ. සමනුභාෂණ කර්මයෙන් ද දෘෂ්ටිය නො හරනා භික්ෂුවට පචිති ඇවැත් වේ. සමනුභාෂණ කර්මයෙන් නො හික්මෙන භික්ෂුවට උක්ඛේපනීය කර්මය කරනු ලැබේ. එය විනයකර්මපොතෙන්[311] දත හැකි වනු ඇත.

“යො පන භික්ඛු ජානං තථාවාදිනා භික්ඛුනා අකටානුධම්මෙන තං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධි සම්භුඤ්ජෙය්‍ය වා සංවසෙය්‍ය වා සහ වා සෙය්‍යං කප්පපෙය්‍ය පාචිත්තියං.”[312]

යම් මහණෙක්, එසේ කියන, උක්ඛේපනීය කර්මය සංඝයා විසින් ඉවත් නො කළ ඒ පාපදෘෂ්ටිය නො හළ භික්ෂුව හා සම්භෝග හෝ කෙරේ ද විනයකර්ම හෝ කෙරේ ද එක් පියැස්සක් යට හොවී ද ඒ භික්ෂුවට පචිති ඇවැත් වේ.

සම්භෝගය වනාහි ආමිෂසම්භෝග ධර්මසම්භෝග වශයෙන් දෙකක් වේ. යමකුට තමා සතු ආහාරාදි වස්තුවක් දීම හා අනුන් දෙන වස්තුවක් ගැනීම ආමිෂ සම්භෝගය ය. ධර්මය කියවීම හා කියවා ගැනීම ධර්මසම්භෝගය ය. උක්ඛිත්තක භික්ෂුව හා එයින් කවරක් හෝ කළ හොත් පචිති වේ. ඔහු හා උපෝසථපවාරණාදි විනය කර්මයක් කළ හොත් පචිති වේ. එක් පියැස්සක් යට උක්ඛිත්තකයා ශයනය කළ කල්හි භික්ෂුව ශයනය කළ ද භික්ෂුව ශයනය කළ පසු උක්ඛිත්තකයා ශයනය කළ ද දෙදෙන එකවර ශයනය කළ ද භික්ෂුවට පචිති වේ.

“සමනුද්දෙසො පි චෙ එවං වදෙය්‍ය තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති. සො සමණුද්දෙසො භික්ඛූහි එව මස්ස වචනීයො, මා ආවුසො සමනුද්දෙස එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, නහි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය, අනෙකපරියායෙන ආවුසො සමණුද්දෙස අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා, අලඤ්ච පන තෙ පටිසෙවතො අන්තරායායාති. එවඤ්ච සො සමණුද්දෙසො භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්‍ය, සො සමණුද්දෙසො භික්ඛූහි එවමස්ස වචනීයො අජ්ජතග්ගෙ තෙ ආවුසො සමණුද්දෙස නචෙව සො භගවා සත්ථා අපදිසිතබ්බො, යම්පි චඤ්ඤෙ සමනුද්දෙසා ලභන්ති භික්ඛූහි සද්ධිං ද්විරත්තතිරත්තං සහසෙය්‍යං, සාපි තෙ නත්ථි, චර පරෙ විනස්සාති. යො පන භික්ඛු ජානං තථා නාසිතං සමණුද්දෙසං උපලාපෙය්‍ය වා උපට්ඨාපෙය්‍ය වා සම්භුඤජෙය්‍ය වා සහ වා සෙය්‍යං කප්පෙය්‍ය පාචිත්තියං.”[313]

භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මෛථුන ධර්මකෙනෙක් ස්වර්ගමෝක්ෂධ්‍යාන මාර්ගඵලයන්ට අන්තරායකරය යි වදාරන ලද ද සේවනය කරන්හුට ඒ ධර්මයෝ අන්තරාය පිණිස සමත් නො වෙතියි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනය කළ ධර්මයක් මම දනිමියි සාමණේරයෙක් කියන්නේ නම් ඒ සාමණේර තෙමේ භික්ෂූන් විසින් මෙසේ කිය යුත්තේය. ඇවැත සාමණේරය, මෙසේ නො කියව, භාග්‍යවතුන් වහන්සේට නින්දා නො කරව, භාග්‍යවතුන් වහන්සේට නින්දා කිරීම නො මැනවි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන්නාහ, ඇවැත සාමණේරය, භාග්‍යවතුන්වහන්සේ විසින් අන්තරායික ධර්මයෝ අනේකාකාරයෙන් අන්තරායිකයහ යි වදාරන ලද්දාහුය, සේවනය කරන්නා හට ඒ ධර්මයෝ අන්තරාය පිණිස සමර්ථයහ. ඒ සාමණේරතෙමේ මෙසේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ ද එසේ ම පාපදෘෂ්ටිය ගෙන සිටින්නේ නම් ඒ සාමණේර තෙමේ මෙසේ කිය යුතු වන්නේය. ඇවත සාමණේරය, අද පටන් තා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ ය යි නො කිය යුත්තෝය, අන්‍ය සාමණේරයෝ භික්ෂූන් වහා දෙතුන් රැයක් යම් සහසෙය්‍යාවක් ලබත් ද එය ද මින්පසු තට නැත්තේය, මමත්වයක් නැති සාමණේරය, සංඝාරාමයෙන් යව, නැසෙව. යම් මහණෙක් එසේ නසන ලද සාමණේරයකුට නසන ලද්දකු බව දැන සංග්‍ර‍හ හෝ කෙරේ ද එවැන්නකු ලවා උපස්ථාන හෝ කරවා ගනී ද එවැන්නකු හා සම්භෝග හෝ කෙරේ ද එක් පියැස්සක් යට ශයනය හෝ කෙරේ ද ඒ භික්ෂුවට පචිති වේ.

සංවාසනාසනා ලිංගනාසනා දණ්ඩකම්මනාසනා යි විනයෙහි නැසීම් තුනක් ඇත්තේ ය. ඇවැත් නො පිළිගැනීම් ආදිය නිසා උක්ඛේපනීය කර්මය කිරීම සංවාසනාසනාවය. සුදුවත් හඳවා පිටත් කිරීම ලිංගනාසනාවය. දඬුවම් වශයෙන් සඟරමින් බැහැර වන ලෙස කීම දන්ඩකම්මනාසනාවය. පාපදෘෂ්ටි ගත් හෙරණුන්ට කරන්නේ දණ්ඩකම්මනාසනාව ය.

සිකපදයන්ට ගැරහීම් ආදිය පිළිබඳ සිකපද

විලේඛන සික්ඛාපදය

“යො පන භික්ඛු පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ එවං වදෙය්‍ය, කිං පනිමෙහි ඛුද්දානුඛුද්දකෙහි සිකක්ඛාපදෙහි උද්දිට්ඨෙහි යාවදෙව කුක්කුච්චාය විහෙසාය විලෙඛාය සංවත්තන්තීති සික්ඛාපදවිවණ්ණනකෙ පාචිත්තියං.”[314]

යම් මහණෙක් ප්‍රාතිමෝක්ෂය උදෙසන කල්හි මෙසේ කියයි ද උදෙසන්නා වූ මේ කුඩා වූ ද වඩා කුඩ වූ ද සිකපදවලින් කවර ප්‍රයෝජනයක් ද? මේවා වඩාත් කුකුස් ඇතිවීම පිණිස සිත වෙහෙසීම පිණිස සිතෙහි ඉරිවැටීම පිණිස පවත්නේය යි සිකපදවල අගුණ කීමෙන් පචිති ඇවැත් වේ.

ප්‍රාතිමෝක්ෂය උදෙසීමය යනු අතවැසියන්ට පාඩම් කරගැනීම සඳහා ගුරුන් විසින් කියවීම, ගෝලයන් විසින් ගුරුන් ලවා පාඩම් කර ගැනීම සඳහා කියවා ගැනීම, පාඩම් ඇති සිකපද නැවත නැවත සජ්ඣායනා කිරීම යන මේ තුනය. ගුරුවරයකුගෙන් කියවා ගැනීම වෙනුවට දැනට ඇත්තේ පොතෙන් පාඩම් කිරීමය. මේ කුඩා කුඩා සිකපද පාඩම් කිරීමෙන් දැරීමෙන් කවර ප්‍රයෝජනයක් ද? මේවා මේ කාලයට වුවමනා නැත, මේවා පාඩම් කිරීමෙන් ඇත්තේ කුකුස් වැඩි වීම පමණෙක, වෙහෙසීම පමණෙක, මේ සිකපද නැතිවීම ම යහපති යනාදීන් උපසම්පන්නයෙක් උපසම්පන්නයකුට කියයි නම් පචිති වේ. හැර අන් දහමක අගුණ කියා නම් දුකුළා ඇවැත් වේ. අනුපසම්පන්නයකුට විනයේ හෝ ධර්මයේ හෝ අගුණ කියා නම් දුක්කටාපත්ති වේ. විනයේ අගුණ කීමේ කැමැත්තෙන් තොරව දැනට සූත්‍ර‍ හෝ ගාථා හෝ අභිධර්මය හෝ ඉගෙනීම කරන්නය, විනය පසුව ඉගෙන ගන්නය යි කීමෙන් ඇවැත් නො වේ.

දුර්වච ශික්ෂාපදය.

“භික්ඛු පනෙච දුබ්බචජාතිකො හොති, උද්දෙසපරියාපන්නෙසු සික්ඛාපදෙසු භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරොති, මා මං ආයස්මන්තො කිඤ්චි අවචුත්ථ කල්‍යාණං වා පාපකං වා, අහම්පායස්මන්තෙන කිඤ්චි වක්ඛාමි කල්‍යාණං වා පාපකං වා චිරමථායස්මන්තො මම වචනායාති, සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො, මා ආයස්මා අත්තානං අවචනීයං අකාසි, වචනීයමෙව ආයස්මා අත්තානං කරොතු, ආයස්මාපි භික්ඛු වදතු සහධම්මෙන, භික්ඛූපි ආයස්මන්තං වක්ඛන්ති සහධම්මෙන. එවං සංවද්ධා හි තස්ස භගවතො පරිසා, යදිදං අඤ්ඤමඤ්ඤවචනෙන අඤ්ඤමඤ්ඤවුට්ඨාපනෙනාති. එවඤ්ච සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්‍ය, සො භික්ඛු භික්ඛූහි යාවතතිං සමනුභාසිතබ්බො තස්ස පටිනිස්සග්ගාය, යාව තතියඤ්චෙ සමනුභාසියමානො තං පටිනිස්සජ්ජෙය්‍ය ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජෙය්‍ය සංඝාදිසෙසො.”[315]

මහණෙක් වනාහි දුර්වචස්වභාව ඇත්තේ වේ ද, ප්‍රාතිමෝක්ෂසංඛ්‍යාත උද්දේසයට අයත් වූ ශික්ෂාපදයන්හි භික්ෂූන් විසින් ශික්ෂාපදයෙන් කියනු ලබන කල්හි “ආයුෂ්මත්නි, ඔබ වහන්සේලා යහපත් වූ හෝ අයහපත් වූ හෝ කිසිවක් මා හට නො කියව්. මම ද ආයුෂ්මතුන්ට යහපත් වූ හෝ අයහපත් වූ හෝ කිසිවක් නො කියමි. ආයුෂ්මත්නි, ඔබ වහන්සේලා මාහට කීමෙන් වළකිව්” ය යි තමා නො කිය යුත්තකු කෙරේ නම් ඒ මහණ අන්‍ය භික්ෂූන් විසින් “ඇවත, ඔබ තමා අන්‍ය භික්ෂූන් විසින් නො කිය යුත්තකු නො කරව, ආයුෂ්මතා තමා අන්‍ය භික්ෂූන් විසින් කිය යුත්තකු ම කෙරේවා, ආයුෂ්මතා ද භික්ෂූන්ට ශික්ෂාපදයෙන් කියාවා, භික්ෂූහු ද ආයුෂ්මතාට ශික්ෂාපදයෙන් කියන්නාහ, යම් ඒ ශික්ෂාපදයෙන් කීමෙන් ඇවැතින් නඟා සිටුවීමෙක් වේ ද විසින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිරිස දියුණුවට පත්වන්නාහ යි කිය යුත්තේය. ඒ මහණ එසේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ ද එසේ ම දැඩි කොට ගෙන සිටී න්ම ඒ අදහස අත හැරීම පිණිස තුන්වර දක්වා සමනුභාෂණය කළ යුතුය. තුන්වර දක්වා සමනුභාෂණය කිරීමෙන් ඒ අදහස හරී නම් එය යහපති. නො හරී නම් සංඝාදිසේසාපත්ති වේ.

මේ සිකපදය ඡන්න භික්ෂුව අරභයා පනවන ලද්දේය. ඡන්න භික්ෂුව ගිහි කාලයේ සිද්ධාර්ථ කුමාරයන්ගේ ඇමතියෙකි. සිද්ධාර්ථකුමාරයන් පැවිදිවීමට නික්ම ගියේ ද ඔහු සමඟය. එබැවින් පැවිදිවීමෙන් පසු ද ඡන්න භික්ෂුව උඩඟුව අන්‍ය භික්ෂූන් පහත් කොට සලකමින් සිටියේය. මේ සිකපදය පනවන්නට සිදු වූයේ ඒ නිසාය. මෙයින් සංඝාදිසේසාපත්ති වන්නේ සමනුභාෂණ කර්මය කළ හොත්ය. ඡන්න භික්ෂුවට සමනුභාෂණ කර්මය කළ බවක් සඳහන් වී නැත.

බ්‍ර‍හ්මදණ්ඩය.

මේ සිකපදය පැනවීමෙන් ඡන්න භික්ෂුව හික්මුණු බවක් නො පෙනේ. ඒ නො හික්මීම නිසා ම ඔහුට මාර්ගඵල ලැබිය හැකි නො වීය. තථාගතයන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් පිරිනිවන්පානා දින රාත්‍රියේද “ඡන්නස්ස ආනන්ද, භික්ඛුනො මමච්චයෙන බ්‍ර‍හ්මදණ්ඩො දාතබ්බො”[316] යනුවෙන් ඡන්න භික්ෂුවට තථාගත පරිනිර්වාණයෙන් පසු බ්‍ර‍හ්මදණ්ඩය දෙන ලෙස වදාළහ. ආනන්දස්ථවිරයන් වහන්සේ විසින් “ස්වාමීනි, බ්‍ර‍හ්මදණ්ඩ නම් කවරේදැ”යි විචාළ කල්හි “ආනන්දය, ඡන්න යමක් කියනු කැමැත්තේ නම් එය කියාවා, භික්ෂූන් විසින් ඔහුට කිසිවක් නො කිය යුතුය, අවවාද නො කළ යුතුය, අනුශාසනා නො කළ යුතුය, මේ බ්‍ර‍හ්මදණ්ඩය” යි වදාළ සේක.

සම්බුද්ධපරිනිර්වාණයෙන් පසු ධර්මසංගීතිය සඳහා රජගහනුවරට රැස් වූ මහාකාශ්‍යපස්ථවිර ප්‍ර‍මුඛ ස්ථවිරයන් වහන්සේලාගේ නියෝගයෙන් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පන්සියයක් භික්ෂූන් හා කොසඹෑනුවර ඝෝසිකාරාමයට වැඩම කොට ඡන්නස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේගේ ආඥාව පරිදි බ්‍ර‍හ්මදණ්ඩය ප්‍ර‍කාශ කළහ. එයින් පීඩාවට පත්වූ ලජ්ජා වූ ඡන්නස්ථවිර තෙමේ විවේකස්ථානයකට එළඹ විදසුන් වඩා නොබෝ කලකින් සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියේය. බුදුරදුන් විසින් බ්‍ර‍හ්මදණ්ඩය පනවන ලද්දේ ඡන්නස්ථවිරයන්ට පමණෙකි. එහෙත් එවැනි රළු කතා ඇති නො මනා කතාවලින් භික්ෂූන්ට පහරදෙන දුර්වච භික්ෂූන්ට ද මේ දඬුවම දිය යුතු බව පරිවාරපාළියේ කම්මවග්ග අට්ඨකථාවෙහි[317] දක්වා ඇත්තේය. එය කරනුයේ අපලෝකන කර්ම වශයෙනි. එය කරන්නේ මෙසේය:- ව්‍යක්ත භික්ෂුවක් විසින් සංඝයාගේ අනුමතිය ලබා මෙසේ සංඝයාහට ඇස්විය යුතු ය.

“භන්තෙ, ඉත්ථන්නාමො භික්ඛු මුඛරො, භික්ඛු දුරුත්තවචනෙහි ඝට්ටෙන්තො විහරති, සො භික්ඛු යං ඉච්ඡෙය්‍ය තං වදෙය්‍ය, භික්ඛුහි ඉත්ථන්නාමො භික්ඛු නො ච වත්තබ්බො, න ඔවදිතබ්බො, න අනුසාසිතබ්බො. සංඝං භන්තෙ, පුච්ඡාමි ඉත්ථන්නාමස්ස භික්ඛුනො බ්‍ර‍හ්මදණ්ඩස්ස දානං රුච්චති සංඝස්ස. දුතියම්පි පුච්ඡාමි -පෙ- තතියම්පි පුච්ඡාමි ඉත්ථන්නාමස්ස භන්තෙ. භික්ඛුනො බ්‍ර‍හ්මදණ්ඩස්ස දානං රුච්චති සංඝස්ස.”[318]

බ්‍ර‍හ්මදණ්ඩය ලැබූ භික්ෂුව එයින් හික්මී පසු කාලයේ සංඝයාගෙන් ක්ෂමාව ඉල්ලන්නේ නම් බ්‍ර‍හ්මදණ්ඩය සන්සිඳවිය යුතුය. එය කරන්නේ මෙසේය:- ව්‍යක්ත භික්ෂුවක් විසින් මෙසේ සංඝයාහට ඇස්විය යුතුය.

“භන්තෙ, භික්ඛුසංඝො අසුකස්සභික්ඛුනො බ්‍ර‍හ්මදණ්ඩං අදාසි. සො භික්ඛු සොරතො නිවාතවුත්ති ලජ්ජිධම්මං ඔක්කන්තො හිරොත්තප්පෙ පතිට්ඨිතො පටිසංඛා ආයතිං සංවරෙ තිට්ඨති සංඝං භන්තෙ, පුච්ඡාමි තස්ස භික්ඛුනො බ්‍ර‍හ්මදණ්ඩස්ස පටිප්පස්සද්ධිං රුච්චති සංඝස්ස.”[319]

මෙසේ තුන්වරක් අස්වා බ්‍ර‍හ්මදණ්ඩය සන්සිඳවිය යුතුය. ශාසනයෙහි ඇති දඬුවම් අතුරෙන් මේ බ්‍ර‍හ්මදණ්ඩය බරපතළ ම දඬුවමය. ඡන්න භික්ෂුවට දඬුවම් වශයෙන් කරන උක්ඛේපනීය කර්මය කලින් දෙවරක් කර ඇත. ඒවාට ඔහු බිය නො වී ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ බ්‍ර‍හ්මදණ්ඩය ප්‍ර‍කාශනය කළ කල්හි ඡන්න භික්ෂුව බිය වී මූර්ච්ඡා වී වැටුණේය. බ්‍ර‍හ්මදණ්ඩය ලත් භික්ෂුව හා සෙසු භික්ෂූන්ට කථා කිරීමට පවා අවසරයක් නැත. එබැවින් බ්‍ර‍හ්මදණ්ඩය ලත් භික්ෂුව සම්පූර්ණයෙන් තනි වේ.

සුරාපාන ශික්ෂාපදය.

“සුරාමෙරයපානෙ පාචිත්තියං.”[320]

රහමෙර පීමෙන් පචිති වේ.

පිට්ඨසුරාය පූවසුරාය ඔදනසරාය කිණ්ණපක්ඛිත්තසුරාය සම්භාරසංයුත්තසුරාය යි සුරා පස්වර්ගයෙකි. ධාන්‍යපිටි බඳුනෙහි ලා පමණට ජලය යොදා මැඩ සාදන සුරාව පිට්ඨසුරා නමි. පිටියෙන් තැනූ පාං ආප්ප පිට්ටු ආදි කෑමවර්ග බඳුනෙහි ලා පමණට ජලය බහා මැඩ සාදන සුරාව පූවසුරා නමි. බත් දියෙහි ලා සාදන සුරාව ඕදනසුරාව නමි. කිණ්ණපක්ඛිත්ත සුරා යනු සුරාබීජයන් බහා කරන සුරාවය යි ද, ධාන්‍යයන්ගේ අංකුරයන් ජලයෙහි ලා කර සුරාවය යි ද කියනු ලැබේ. නෙල්ලි අබ ආදි ද්‍ර‍ව්‍යයන් දියෙහි ලා කරන සුරාව සම්භාරසංයුත්ත සුරා නම් වේ. මෙසේ සුරා පස්වර්ගයක් විනය පාළියෙහි දක්වා ඇත්තේය.

පුප්ඵාසවය ඵලාසවය මධ්වාසවය ගුලාසවය සම්භාරසංයුත්තය යි මේරය වර්ග ද පසෙකි. පල් කරන ලද තල් පොල් ආදි මල්වල රසය පුප්ඵාසව නමි. පල් කරන ලද වැල වරකා ආදි ඵලවල රසය ඵලාසව නමි. පල් කළ මිදිරසය මධ්වාසව නමි. මී පැණියෙන් කරන පානය ද මධ්වාසවය යි කියනු ලැබේ. උක්පැණියෙන් කරන පානය ගුලාසව නමි. පල් කරන ලද නානා ද්‍ර‍ව්‍යයන්ගේ රසය සම්භාරසංයුත්ත නම් වේ.

පඤ්චප්‍ර‍කාර සුරාය පඤ්චප්‍ර‍කාර මේරයය යන මේ දශවර්ගය මත්කරන බැවින් මද්‍යය යි ද කියනු ලැබේ. සුරාවර්ගයක් හෝ මේරය වර්ගයක් හෝ තණපතක අගට එන පමණ වුව ද පානය කෙළේ නම් පචිති වේ. විනය පොත්වල දැක්වෙන්නේ අතීතයේ විසූ මිනිසුන් සාදා පාවිච්චි කළ මද්‍යවර්ගයන්ය. මෙකල අතීතයේ නො තුබූ නානාප්‍ර‍කාර මද්‍යවර්ග ඇත්තේය. තථාගතයන් වහන්සේ විසින් අකැපය යි වදාළ දෙයට සමාන යමක් ඇති නම් ඒවා ද අකැප බව වදාරා ඇති බැවින් මත්කරන ස්වභාවයෙන් ඉහත දැක් වූ සුරාමේරය දෙවර්ගයට සමාන කන බොන ජාති සියල්ල ම අකැපය. සුරා මේරයවලට අයත්ය. එබැවින් මත්කරන කිනම් පානයක් වුව ද කිනම් ද්‍ර‍ව්‍යයක් වුව ද කෑමෙන් බීමෙන් පචිති වන බව කිය යුතුය.

“සුරං වා මෙරයං වා බීජතො පට්ඨාය කුසග්ගෙන පිවතො පි පාචිත්තියං”[321] යනුවෙන් විනය අටුවාවෙහි සුරාව හෝ මේරය බීජයෙහි පටන් ම පානය කරන්නාහට පචිති ඇවැත් වේය යි දක්වා ඇත්තේය. බීජතොපට්ඨාය යන්න සාරත්ථදීපනීටීකාවෙහි තේරුම් කරන්නේ “සම්භාරෙ පටියාදෙත්වා වාටියං පක්ඛිත්තකාලතො තාලනාලිකෙරාදීනං පුප්ඵරසස්ස ගහිත අභිනවකාලතො යෙව පට්ඨාය”[322] කියාය. එහි විස්තර කරන සැටියට පොල් කිතුල් තෙලිදිය ද අකැපය. විමතිවිනෝදනී ටීකාවෙහි එය විස්තර කරන්නේ “බීජතො පට්ඨායාති යථාවුත්තානං පිට්ඨාදීනං මජ්ජත්ථාය භාජනෙ පක්ඛිත්තකාලතො පට්ඨාය”[323] කියාය. ගත් සැටියේ තෙලිදිය අකැප බවක් නො කියනු ලැබේ. විමතිවිනෝදනී මතයේ සැටියට තෙලිදිය අකැප බව කිය යුත්තේ ගසින් ගත් තෙලිදිය පැසවා මද්‍යභාවයට පැමිණවීම සඳහා රා පැසවන භාජනයට දැමූ තැන් පටන් ය. තෙලිදිය මේරයට ද බීජය වේ. පැණි සකුරුවලට ද බීජය වේ. මේරය සාදන භාජනයට දැමූ තෙලිදිය මේරයයේ බීජය ලෙසත්, පැණි හුණුකරන භාජනයට ලූ තෙලිදිය පැණිසකුරුවල බීජය ලෙසත් සැලකිය හැකිය. මත් නො කරන තෙලිදියවල, කප්පිය පානයන් වන අම්බපානාදිය හා සමාන බවක් මිස සුරාමේරයවලට සමාන කමක් නැත. එබැවින් තෙලිදිය අකප්පියවස්තුවකැයි කීමට යුක්තියක් නො පෙනේ. අමද්‍ය, මද්‍ය සංඥාවෙන් බීමෙන් දුකුළා ඇවැත් වේ.

“අනාපත්ති අමජ්ජඤ්ච හොති අමජ්ජවණ්ණං අමජ්ජගන්ධං අමජ්ජරසං තං පිවති, සූපසම්පාකෙ මංසසම්පාකෙ තෙලසම්පාකෙ ආමලකඵාණිතෙ අමජ්ජං අරිට්ඨං පිවති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.”[324]

මද්‍යවර්ණය නැති මද්‍යගන්ධය නැති මද්‍යරසය නැති අමද්‍යපානයක් පීමෙන් ද මඳක් මද්‍ය යෙදූ සූපය වැළඳීමෙන් ද මඳක් මද්‍ය යෙදූ මාංසව්‍යඤ්ජනය වැළඳීමෙන් ද මද්‍ය යොදා පිසූ තෙල් වැළඳීමෙන් ද නෙල්ලි පැණිය වැළඳීමෙන්ද මද්‍ය නොවන අරිෂ්ට වැළඳීමෙන් ද උම්මත්තකයාට ද ආදිකර්මිකයාට ද මේ සිකපදයෙන් ඇවැත් නොවන බව ඉහත කී පාඨයෙන් දැක් වේ. ආමලකඵාණිතය යනු ශුද්ධ වූ නෙල්ලි යුෂයෙන් කරන අරිෂ්ටයෙකි. එහි මද්‍ය වර්ණය ද මද්‍ය ගන්ධය ද මද්‍යරසය ද ඇත්තේය. එහෙත් එය මද්‍යයක් නො වන නිසා බීමෙන් ඇවැත් නො වේ.

මද්‍යවර්ණගන්ධරස ඇති ලෝණසෝවීරක නම් අරිෂ්ටයක් ගැන විනයෙහි සඳහන් වේ. එය අරළු බුළු නෙල්ලි කෂායෙහි සියලු ධාන්‍යයන් ද, මුං උඳු ආදි සියලු අපරණ්ණයන් ද, සප්තධාන්‍යයන්ගෙන් පිසූ බත් ද, කෙසෙල් ආදි සියලු ගෙඩිජාති ද, වේ. වැටකේ ඉඳි ආදි සියලු කළීරයන් ද, දිය ගොඩ මස් ද, මීපැණි ආදි පැණි ද, සවින්ධවාදි ලුණු ද, ඉඟුරු මිරිස් ආදි කටුක බෙහෙත් ද ලා සැළියේ මුව මැටි බැඳ වර්ෂ දෙක තුනක් පැසෙන්නට තබා සාදන බෙහෙතකැයි ද වාතකාශකුෂ්ඨපාණ්ඩුභගන්දරාදි රෝග වලට බෙහෙතකැයිද ආහාර පැසවීමට එතරම් හොඳ බෙහෙතක් නැතය යි ද සමන්තපාසාදිකාවේ කියා ඇත්තේ ය.

උදරයෙහි වාතාබාධයක් පැවති භික්ෂුවක් ලෝණසෝවීරකය පානය කොට රෝගය සුව කර ගත්තේ ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ගිලනුන්ට ලෝණසෝවීරකය පානය කිරීමටත් නො ගිලනුන්ට දිය හා මිශ්‍ර‍ කොට පානයක් වශයෙන් කාලයෙහිත් විකාලයෙහිත් වැළඳීමටත් අනුදැන වදාළ සේක. ඒ අනුව සියලු ම අරිෂ්ටාසවයන් හා ස්වල්ප වශයෙන් අබිං ආදි මද්‍ය ද්‍ර‍ව්‍ය මිශ්‍ර‍ බෙහෙත් ද කැප බව කිය යුතුය.

ධූමපානය

එකල ආයුෂ්මත් පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේට ශිර්ෂාබාධයක් විය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි හිස තෙල් ගැල්වීමට අනුදැන වදාළහ. එයින් පිළින්දිවච්ඡ තෙරුන්ට සුවයක් නො වී ය. භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි නස්‍යකිරීම අනුදැන වදාළහ. එයින්ද සුවයක් නො ලැබිණ. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි දුම්බීමට අනුදැන වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ දුම්බීමට අනුදැන වදාළේ ගිලනුන්ට නිසා නො ගිලනුන්ට ධූමපානය නුසුදුසුය. දුම මුවින් උරා නාසයෙන් පිට කිරීමේදී හිසේ තදවී වේදනා කරන සෙම ගැලවී යාමෙන් හිසරදය සුව වේ. බෙහෙතක් වශයෙන් රෝගීන්ට අනුදැන වදාළ ධූමපානය විනෝදය පිණිස නො කළ යුතුය.

මහාපදේස සතර

යමක කැප අකැප බව විනිශ්චය කිරීමට දුෂ්කර වී ඇති අවස්ථාවලදී ඒවා විනිශ්චය කර ගත හැකිවීමට තථාගතයන් වහන්සේ විසින් තබා ඇති උපදෙස් සතර මහාපදේස නම් වේ. ඒවාට මහාකාරණයෝය යි ද අටුවාවෙහි කියා ඇත්තේය. සූත්‍ර‍පිටක විනයපිටක දෙක්හි ම මහාපදේස වදාරා ඇත්තේ ය. සූත්‍ර‍පිටකයේ එන මහාපදේස සතර ධර්මවිනය දෙකට ම සාධාරණය. විනයෙහි එන මහාපදේස විනයට පමණෙකි. මෙය විනය ග්‍ර‍න්ථයක් බැවින් මෙහි විනය මහාපදේස සතර දක්වනු ලැබේ.

  1. යං භික්ඛවෙ මයා ඉදං න කප්පතීති අපටික්ඛිත්තං, තං වෙ අකප්පියං අනුලොමෙති කප්පියං පටිබාහති, තං වො න කප්පති.
  2. යං භික්ඛවෙ මයා ඉදං න කප්පතීති අපටික්ඛිත්තං, තං වෙ කප්පියං අනුලොමෙති, අකප්පියං පටිබාහති, තං වො කප්පති.
  3. යං භික්ඛවෙ මයා ඉදං කප්පතීති අනනුඤ්ඤාතං, තං වෙ අකප්පියං අනුලොමෙති, කප්පියං පටිබාහති, තං වො න කප්පති.
  4. යං භික්ඛවෙ මයා ඉදං කප්පතීති අනනුඤ්ඤාතං, තං වෙ කප්පියං අනුලොමෙති, අකප්පියං පටිබාහති, තං වො කප්පති.[325]

මේ පාඨයේ තේරුම එහි යෙදී ඇති වචන අනුව කියතහොත් තේරුම් ගැනීම අපහසුය. එබැවින් එහි අදහස අන් වචනවලින් දක්වනු ලැබේ.

(1) භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්ෂූන්ට අකැපය යි ප්‍ර‍තික්ෂේප නො කරන ලද යම් කිසි දෙයක් අකප්පිය යි වදාළ දෙයකට සමාන වේ නම් කැපය යි වදාළ දෙයකට සම නො වේ නම් ඒ දෙයත් අකැපය යනු පළමුවන මහාපදේශය යි.

(2) භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්ෂූන්ට අකැපය යි ප්‍ර‍තික්ෂේප නො කළ යම්කිසිවක් ඉදින් කැපය යි වදාළ දෙයකට සම වේ නම් අකැපය යි වදාළ දෙයට නො සම වේ නම් එයත් කැප දෙයක යනු දෙවන මහාපදේසය ය.

(3) භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්ෂූන්ට කැපය යි නො අනුදන්නා ලද්දක් ඉදින් අකප්පිය යි වදාළ දෙයට සමාන වේ නම් ඒ දෙය අකැපය යනු තුන්වන මහාපදේසය ය.

(4) භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්ෂූන්ට කැපය යි නො අනුදක්නා ලද්දක් ඉදින් කැපය යි අනුදන්නා ලද දෙයට සමාන වේ නම් ඒ දෙය කැපය යනු සතරවන මහාපදේසය ය.

භාග්‍යවතුන් වහන්සේ විසින් “අනුජානාමි භික්ඛවෙ සබ්බං ඵලරසං ඨපෙත්වා ධඤ්ඤඵලරසං” යනුවෙන් ධාන්‍යඵලරසය හැර සකල ඵලයන්ගේ රසය විකාලයෙහි භික්ෂූන්ට පරිභෝග පිණිස අනුදැන වදාරන ලදි. ධාන්‍යඵලරසය හැර අන්‍යඵලරසයන් භාග්‍යවතුන් වහන්සේ විසින් අකැපය යි ප්‍ර‍තික්ෂේප කර නැත. එහෙත් තල් පොල් කොස් දෙල් තියඹරා කොමඩු ලබඩු පුසුල් කැකිරි යන මේ ඵල නවය හා මුං උඳු ආදි අපරණ්ණයන් ද මහාපදේසය අනුව ධාන්‍යයන්ට සමාන බව අර්ථකථාචාර්යයන්ට පෙනිණ. ධාන්‍යයන්ට සමාන බව නම් ධාන්‍යවලින් සිදුකරන ආහාරකෘත්‍යය මහාඵලවලින් සිදුකරන බව හා ඒවා ජනයා විසින් ආහාරකෘත්‍යය සඳහා ම ගන්නා බවය. එබැවින් අර්ථකථාචාර්‍ය්‍යවරයෝ නව මහාඵලයන්ගේ රසය හා අපරණ්ණයන්ගේ රසයත් සප්තධාන්‍යරසයට අනුලෝම වූ අකප්පිය දේ ලෙස දැක්වූහ.

“අනුජානාමි භික්ඛවෙ අට්ඨපානානි” යි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට විකාලයේ පරිභෝගය පිණිස අම්බපානානි පාන අටක් අනුදැන වදාරන ලද්දේය. සියඹලා දෙහි දොඩම් නාරන් ආදි කුඩාඵලයන්ගේ රසය ද අනුදැන වදාළ අෂ්ටපානයට සම බව අර්ථකථාචාර්‍ය්‍යයෝ දුටහ. එබැවින් අෂ්ටපානයට අනුලෝම වශයෙන් සියඹලා දෙහි දොඩම් ආදි ඵලවලින් සාදන පානය ද විකාලයේ භික්ෂූන්ට කැපයයි මහාපදේශය අනුව දැක්වූහ.

“අනුජානාමි භික්ඛවෙ ඡ චීවරානි ඛොමං කප්පාසිකං කොසෙය්‍යං කම්බලං සාණං භංගං” යි භාග්‍යවතුන් වහන්සේ විසින් සිවුරු ජාති සයක් අනුදැන වදාරන ලදී. ධර්මසංග්‍රාහක ස්ථවිරයන් වහන්සේලා මහාපදේසය අනුව පරීක්ෂා කරන්නාහු නො අනුදන්නා ලද දුකූලය, පත්තුණ්ණය, චීනපට්ටය, සෝමාරපට්ටය, ඉද්ධිමයිකය, දේවදත්තියය යන මේ චීවර සය ද අනුදත් ඛෝමාදි චීවරයන්ට සමාන බව දැක ඒවා ද අනුලෝම වශයෙන් කැප සිවුරු බව දැක්වූහ. මේ ක්‍ර‍මයෙන් මහාපදේස සතර අනුව බලා ඒ ඒ දේවල කප්පියාකප්පිය භාවය සැලකිය යුතුය.

ප්‍රාතිමෝක්ෂසංවරශීලය, ඉන්ද්‍රියසංවරශීලය, ආජීවපාරිශුද්ධිශීලය, ප්‍ර‍ත්‍යයසන්නිශ්‍රිතශීලය යි ශීල සතරක් ඇත්තේ ය. මේ ග්‍ර‍න්ථයෙහි මෙතෙකින් විස්තර කරන ලද්දේ ප්‍රාතිමෝක්ෂසංවර ශීලයය. ඉන්ද්‍රියසංවරශීලය හා ප්‍ර‍ත්‍යසන්නිශ්‍රිතශීලය පිළිබඳ සාමාන්‍ය විස්තරයක් ශාසනාවතරණයේ[326] ඇත. එබැවින් මෙතැන් පටන් ආජීවපාරිශුද්ධිශීලය විස්තර කරනු ලැබේ.

ආජීවපාරිශුද්ධිය

ආජීවහේතුක සිකපද සය.

  1. ආජීවහෙතු ආජීවකරණා පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති, ආපත්ති පාරිජිකස්ස.
  2. ආජීවහෙතු ආජීකාරණා සඤ්චරිත්තං සමාපජ්ජති ආපත්ති සංඝාදිසෙසස්ස.
  3. ආජීවහෙතු ආජීවකාරණා යො තෙ විහාරෙ වසති සො භික්ඛු අරහාති භණති පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස.
  4. ආජීවහෙතු ආජීවකාරණා භික්ඛු පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති පාචිත්තියස්ස.
  5. ආජීවහෙතු ආජීවකාරණා භික්ඛුනී පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති පාටිදෙසනීයස්ස.
  6. ආජීවහෙතු ආජීවකාරණා සූපං වා ඔදනං වා අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. ආජීවවිපත්තිපච්චයා ඉමා ඡ ආපත්තියො ආපජ්ජති.[327]

ජීවත්වීමේ හේතුවෙන් නැති ගුණ දක්වනු කැමැත්තේ තණ්හාවෙන් මඩනා ලද්දේ තමා කෙරෙහි නැත්තා වූ උත්තරී මනුෂ්‍යධර්මය ප්‍ර‍කාශ කෙරේ නම් ඔහුට පාරාජිකාපත්තිය වේ.

දිවි පැවැත්වීමේ හේතුවෙන් ස්ත්‍රීපුරුෂයන් අතර පණිවිඩ හුවමාරු කෙරේ නම් ඔහුට සංඝාදිසේසාපත්ති වේ.

දිවි පැවැත්වීමේ හේතුවෙන් “යමෙක් ඔබගේ විහාරයේ වෙසේ ද ඒ මහණ රහත් කෙනෙකැයි” කියා නම් අසන්නා තේරුම් ගත හොත් ථුලැසි ඇවැත් වේ.

දිවි පැවැත්වීමේ හේතුවෙන් මහණ තමාගේ ප්‍රයෝජනය පිණිස ප්‍ර‍ණීතභෝජනයන් ඉල්ලා වළඳා නම් ඔහුට පචිති ඇවැත් වේ.

දිවි පැවැත්වීමේ හේතුවෙන් මෙහෙණක් තමාගේ ප්‍රයෝජනය පිණිස ප්‍ර‍ණීතභෝජනයන් ඉල්ලා වළඳා නම් ඇයට පාටිදේසනීය නම් ආපත්තියක් වේ.

දිවි පැවැත්වීමේ හේතුවෙන් සූප හෝ බත් හෝ නො ගිලන් වූයේ තමාගේ ප්‍රයෝජනය පිණිස ඉල්ලා වළඳයි නම් ඒ මහණහට දුකුළා ඇවැත් වේ. ආජීව විපත්තිය නිසා මේ ඇවැත් සයට පැමිණේ.

කුහනා ලපනා නෙමිත්තිකතා නිප්පෙසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතා යනුවෙන් දැක්වෙන නො මනා ක්‍ර‍මවලින් ප්‍ර‍ත්‍යය සෙවීමෙන් වැළකීම ද ආජීවපාරිශුද්ධිය ය. කුහනාදිය මෙසේ ය:-

කුහනා.

ලාභසක්කාරසිලොකසන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස පච්චයපටිසෙධනසංඛාතෙන වා සාමන්තජප්පිතෙන වා ඉරියාපථස්ස වා අට්ඨපනා ඨපනා සණ්ඨපනා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං අයං වුච්චති කුහනා.[328]

ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු වන්නා වූ නැති ගුණ දක්වනු කැමති වූ ලෝභයෙන් මඩනා ලද්දා වූ පුද්ගලයාගේ ප්‍ර‍ත්‍යය ප්‍ර‍තික්ෂේප කිරීමෙන් හෝ සමීප කොට කථා කිරීමෙන් හෝ ජනයා පහදින ආකාරයෙන් ගමනාදි ඉරියව් හෝ ආදියෙහි තැබීමෙන් පිහිට වන්නා වූ ආකාරයෙක්, සකස් කොට තැබීමෙක්, වීර්‍ය්‍ය කිරීමෙන් වෙහෙසට පත්ව සිටින ආකාරයෙන් මුහුණ හැකිළවීමක්, මුහුණ හකුළුවාගෙන ඉන්නා ස්වභාවයක්, ජනයා විස්මයට පත්කිරීමක්, විස්මය පැවැත්වීමෙක්, විස්මයට පත්කරන ස්වභාවයක් වේ ද මේ කුහනාය යි කියනු ලැබේ.

කුහනය” යනු තමාගේ ඇති සැටිය යට කරගෙන සඟවාගෙන නැත්තා වූ ආකාරයක් දක්වා ජනයා විස්මයට පත්කිරීමය. කපටිකමය කුහකකමය කියනුයේ ද එයට ම ය. අනේකප්‍ර‍කාර කුහකකම් ඇත්තේ ය. මෙහි දැක්වෙන්නේ ප්‍ර‍ත්‍යය ලබනු පිණිස පැවිද්දන් කරන කුහකකම් ය. ප්‍ර‍ත්‍යය ප්‍ර‍තික්ෂේප කිරීමය, ළං කොට කථා කිරීමය, දුටුවන් පහදිනා ආකාරයෙන් ඉරියව් පැවැත්වීමය යන මේ තුන ප්‍ර‍ත්‍යය ලබනු පිණිස ඇතැම් පැවිද්දන් කරන කුහකකම් ය.

බොහෝ ගිහියෝ ප්‍ර‍ත්‍යය නො පිළිගන්නා පැවිද්දාට පහදිති. නො පිළිගන්නා පැවිද්දාට වඩ වඩා ප්‍ර‍ත්‍යය පිරිනමන්නට උත්සාහ කරති. වඩා හොඳ ප්‍ර‍ත්‍යය පිරිනමන්නට උත්සාහ කරති. කපටි පැවිද්දන්ට ප්‍ර‍ත්‍යය ප්‍ර‍තික්ෂේප කිරීමේ උපායෙන් බොහෝ ප්‍ර‍ත්‍යය ලැබිය හැකිය. මිනිසුන් පහදවා වඩ වඩා ප්‍ර‍ත්‍යය ලැබීම පිණිස මුලින් ප්‍ර‍ත්‍යය ප්‍ර‍තික්ෂේප කිරීම ප්‍ර‍ත්‍යය ප්‍ර‍තික්ෂේප කිරීම නමැති කුහකකම ය. ධ්‍යානමාර්ගඵලසංඛ්‍යාත උත්තරීමනුෂ්‍යධර්මයන් තමා කෙරෙහි ඇතය යි කෙළින් ම නො කියා එබඳු ධර්ම තමා කෙරෙහි ඇතය යි හැඟෙන පරිදි ඒවාට ළං කොට “උසස් පැවිද්දෝ නම් මේ කැලෑවල වෙසෙන පැවිද්දෝ ය. ධ්‍යානමාර්ගාදි උසස් ධර්ම ඇත්තෝ අප සේ විවේක සෙනසුන්වල වෙසෙන්නෝ ය” යනාදීන් කථා කිරීම, උත්තරීමනුෂ්‍යධර්මයන්ට ළං කොට කථා කිරීම නමැති කුහකකම ය. ලාභ සත්කාර කීර්ති ප්‍ර‍ශංසාපේක්ෂාවෙන් ජනයාට පෙනෙන්නට බද්ධපර්‍ය්‍යංකයෙන් වාඩිවී නිශ්චලව විසීම්, සක්මන් කිරීම් ආදි වශයෙන් ආර්‍ය්‍යයන්ගේ ඉරියව්වලට සමාන ඉරියව් පැවැත්වීම ඉරියව් පිහිටවීම නමැති කුහකකම ය.

ලපනා.

“ලාභසක්කාරසිලොකසන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පරෙසං ආලපනා ලපනා සල්ලපනා උල්ලපනා සමුල්ලපනා උන්නහනා සමුන්නහනා උක්කාචනා සමුක්කාචනා අනුප්පියභාණිතා චාටුකම්‍යතා මුග්ගසුප්‍යතා පාරිභට්ටතා අයං වුච්චති ලපනා.”[329]

ලාභසත්කාර කීර්ති බලාපොරොත්තු වන්නා වූ ලාමක ආශා ඇත්තා වූ ලාමක ඉච්ඡාවෙන් මඩනා ලද්දා වූ පැවිද්දන්ගේ, මිනිසුන්ගේ සිත් ගැනීම පිණිස ඔවුන්ගෙන් යමක් ලබනු පිණිස කරන කථා ලපනා නම් වේ. ඉහත දැක්වූ පාඨයෙහි ලපනාව ආලපනා සල්ලපනා යනාදීන් වචන තෙළෙසකින් දක්වා ඇත්තේ ය. ඒ වචන වෙන වෙන ම තේරුම් කළ යුතු ය. ඒ මෙසේ ය.

ආලපනා” යනු විහාරයට ගිහියකු පැමිණි කල්හි මහත්මයා - මහත්මිය අද පැමිණියේ ආරාධනාවක් පිණිස ද? එසේ නම් කොපමණ සංඝයා වුවමනා ද? වුවමනා පමණක් වැඩම කරවා දිය හැකිය යනාදීන් ආරාධනාවක් ගැන බලාපොරොත්තුවක් නො තුබූ ගිහියාට ආරාධනාවක් කරන තැනට පළමුවෙන් කථා කිරීම හා අසවල් අසවල් මහත්වරු නෝනාවරු මේ විහාරයේ දායකයෝ ය, අපගේ හිතවත්තුය, ඔවුහු මෙහි නිතර පැමිණෙන්නේය යනාදීන් උසස් අය තමාගේ දායකයන් කොට කථා කිරීම ය.

ලපනා” යනු ගිහියන් විසින් තොරතුරු විමසන කල්හි ඉහත දැක්වූ පරිදි කීම ය.

සල්ලපනා” යනු ගිහියන්ට කථා කිරීමට අවකාශ නො තබා තමා ම කථා කරන කල්හි ඔවුන් කලකිරෙති යි ඔවුනට ද ඉඩ දිදී ඉහත කී පරිදි ම කීම ය.

උල්ලපනා” යනු මුන්නැහේ මහා ත්‍යාගවන්තයෙක, අනේපිඬු සිටු වැනියෙක, මේ මහත්මිය මහා දානපතිනියක, බුදුසසුන බැබළෙන්නේ මෙබඳු අය නිසාය යනාදීන් පමණට වඩා උසස් කොට කථා කිරීම ය. ගිහියන්ගේ ගුණ බොරුවට වර්ණනා කිරීම ය.

සමුල්ලපනා” යනු නොයෙක් ආකාරයෙන් නොයෙක් පැතිවලින් උසස් කොට බොරු ගුණ වර්ණනා කිරීම ය.

උන්නහනා” යනු ඉස්සර නම් මුන්නැහේලා නිතර දන් පින් කළා, විහාරස්ථානයට නිතර පැමිණෙනවා, දැන් නම් පින් අමතක වේගන යනවා වගේය යනාදීන් තමා බලාපොරොත්තු වන දෙය දෙමිය කරමිය කියන තෙක් නැවත නැවත කථාවෙන් වෙළීම ය.

සමුන්නහනා” යනු එක් ආකාරයකින් කථා කොට තමා බලාපොරොත්තු වන දෙය කරවා ගත නො හැකි වුවහොත් අන් ආකාරයකින් ද, එසේත් නො හැකි වුව හොත් තවත් ආකාරයකින් ද මෙසේ තමාගේ අදහස ඉටු වනතුරු නැවත නැවත නොයෙක් ආකාරවලින් කථාවෙන් වෙළීමය.

උක්කාචනා” යනු මේ පවුල ගුණවතුන් හඳුනන පවුලක, සැලකිය යුත්තන් හඳුනන පවුලක, යමක් ලදහොත් අප අමතක නො කරන පවුලක, හොඳ දෙයක් ලද හොත් අපට නො දී අනුභව නො කරන පවුලක, ලෝභයෙන් වෙවුල වෙවුලා සැඳි අගින් දෙන පවුලක් නො ව දෙන දෙය ඇති වන්නට ම දෙන පවුලක්ය යනාදීන් අන්‍යයන් උසස් කිරීමය.

සමුක්කාචනා” යනු එක් ආකාරයකින් දෙයාකාරයකින් පමණක් නො ව හැකි සෑම ආකාරයකින් ම ගිහියන් උසස් කොට කථා කිරීමය.

අනුප්පියභාණිතා” යනු ඇත්ත නැත්ත යුක්ත්‍යායුක්තිය ගැන සැලකීමක් නො කොට ගිහියා කියන සැම දෙය ම අනුමත කරමින් ඔහු සතුටු වන පරිදි කථා කිරීමය.

චාටුකම්‍යතා” යනු අපට වගේ නො වෙයි සිතුවොත් මුනනැහේට නො කළ හැකි දෙයක් නැත, මුන්නැහේලාගේ උදව්ව නැතිව අපට මේ වැඩ නො කළ හැකිය, මේ ස්ථාන නො පැවැත්විය හැකිය යනාදීන් තමා පහත් තන්හි තබා ගිහියා උසස් කොට කථා කිරීම ය.

මුග්ගසූප්‍යතා” යනු තැම්බුණු ඇටත් නො තැම්බුණු ඇටත් ඇති මුං ඇට මාළුව සේ දායකයා සතුටුවන පරිදි බොරු සැබෑ මුසු කොට කථා කිරීමය.

පාරිභට්‍යතා” යනු ගිහියන් සතුටු කරවනු පිණිස ඔවුන්ගේ දරුවන් වඩාගෙන සුරතල් කිරීමය.

නේමිත්තිකතා.

“ලාභසක්කාරසන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යං පරෙසං නිමිත්තං නිමිත්තකම්මං ඔභාසො ඔභාසකම්මං සාමන්තජප්පා පරිකථා අයං වුච්චති නෙමිත්තිකතා.”[330]

ලාභසත්කාර කීර්ති බලාපොරොත්තු වන්නා වූ ලාමක ආශාව ඇත්තා වූ ලාමක ආශාවලින් සම්‍යගාජීවයෙන් පහකරන ලද්දා වූ පැවිද්දාගේ යම් අන්‍යයන්ට දීමේ අදහස ඇති කරන නිමිති පහළ කිරීමෙක් වේ ද, නිමිති පහළ කිරීමේ දක්ෂතාවක් වේ ද, ප්‍ර‍ත්‍යය පිරිනමන අදහස උපදවන කථා කිරීමෙක් වේ ද, එබඳු කථා කිරීමේ දක්ෂතාවක් වේ ද, ලැබීමට බලාපොරොත්තු වන දෙයට ළං කොට කථා කිරීමෙක් වේද, බලාපොරොත්තු දෙය ලැබෙන පරිදි ඒ මේ අතට හරව හරවා කථා කිරීමෙක් වේ ද මේ නේමිත්තිකතා යි කියනු ලැබේ.

“දීමේ අදහස ඇති කරන නිමිති පහළ කිරීමය” යනු දායකයනට ඒ ඒ දෙය දෙන්නට සිත්වීම සඳහා ඔවුන්ට පෙනෙන සේ දිරූ ඉරුණු සිවුරු තැබීම, කැඩුණු බිඳුණු බඩු තැබීම යනාදිය කිරීම හා ඒවා ගැන කථා කිරීමය. එසේ කළ කල්හි සමහරවිට ගිහියන්ගෙන් ඒවා ලැබෙන හෙයිනි.

“ප්‍ර‍ත්‍යය පිරිනමන අදහස උපදවන කථා කිරීමය” යනු ගිහියන් පැමිණි විට පෙර වනාහි භික්ෂූන්ට වුවමනා පමණටත් වඩා ආහාරපාන ලැබුණාය, සිවුරුපිරිකර ලැබුණාය, භික්ෂූන්ට දිවි පැවැත්වීමට කිසි අපහසුවක් තුබුණේ නැත, දැන් නම් කිසිවක් ලැබෙන්නේ නැත, දැනට සිදුවී ඇත්තේ භික්ෂූන්ටත් රැකියාවලට බැසීමය යනාදී කථා කිරීමය.

“ලැබීමට බලාපොරොත්තු වන දෙයට ළං කොට කථා කිරීමය” යනු අසවල් දෙය ඇත්තේ කොයි පළාතේ ද, ඒවා තනන්නේ කවරහුද යනාදීන් වුවමනා දෙය ගැන කථා කිරීමය. එය ප්‍ර‍කට කරනු පිණිස දක්වා ඇති කථාවක් මෙසේය.

එක් ජාතකභාණක භික්ෂුවක් දානය ලබා ගනු කැමැත්තේ ගෙයකට පිවිස හිඳගත්තේය. එහි වූයේ උපාසිකාවක් පමණෙකි. ඕ තොමෝ භික්ෂුවට ආහාර පිළියෙළ කර දීමට නො කැමැත්තී සහල් නැති බව කී කල්හි භික්ෂුව අන් තැනකට යනු ඇතැයි සිතා “ස්වාමීනි” අද ගෙදර මඳකුදු සහල් නැතය” යි කියා සහල් සෙවීමට යන ආකාරය දක්වා ගෙයින් නික්ම ගියාය ඒ අවසරයේ දී භික්ෂුව ගෙට පිවිස එහි කුමක් ඇත්තේදැ යි බැලීය. ඔහු එහි උක්දණ්ඩක් ද, භාජනයක සකුරු ද, පැසෙක ලුණු මාලු පෙති ද, සැළියක සහල් ද, කළයක ගිතෙල් ද දැක ගෙයින් බැහැරව කිසිවක් නො දන්නාක් මෙන් හුන් තැන ම වාඩි වී සිටියේය. මඳ වේලාවකට පසු උපාසිකාව පැමිණ කොතැනකින්වත් අද සහල් ලබන්නට නො හැකි වීය යි කීවාය. එකල්හි භික්ෂුව “උපාසිකාවෙනි, අද මම දානය හරි නො යන බවට කලින් ම නිමිත්තක් දුටිමියි” කීය. “ඒ කුමක්දැ”යි උපාසිකාව ඇසුවාය. එකල්හි භික්ෂුව කියනුයේ “උපාසිකාවෙනි, අද මා එන අතරමඟදී අර දොර මුල්ලේ ඇති උක්දණ්ඩ පමණ දිග මහත ඇති සර්පයකු දුටිමි. ඌ එළවා දැමීමට මා අර ගෙයි භාජනයේ ඇති සකුරු කැට බඳු මැටි කැට ගෙන ගැසූ කල්හි අර පැසෙහි ඇති ලුණු මාලු පෙත්තක් සේ ඌ පෙණය කෙළේය. කිපුණු සර්පයා මා ගැසූ මැටිකැටවලට අර සැළියේ සහල් වැනි දළවලින් පහර දුන්නේය. එවිට උගේ මුවින් හරියට ම අර කළයේ ඇති ගිතෙල් වැනි විෂසහිත කෙළ ගැලීය” යි කීය. උපාසිකාව මේ මහණ එළවන්නට නො පිළිවනැයි උක් දණ්ඩ දී බත් පිස ලුණුමාලු ගිතෙල් හා සකුරු ද සහිත ව භික්ෂුවට දුන්නාය. මෙසේ ලබා ගැනීම ළං කොට කථා කර ලබා ගැනීමය.

නිප්පෙසිකතා.

“ලාභසසක්කාරසන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පරෙසං අක්කොසනා වම්භනා ගරහනා උක්ඛෙපනා සමුක්ඛෙපනා ඛිපනා සංඛිපනා පාපනා සංපාපනා අවණ්ණහාරිතා පරපිට්ඨිමංසිකතා අයං වුච්චති නිප්පෙසිකතා.”[331]

ලාභසත්කාර බලාපොරොත්තු වන්නා වූ පාපෙච්ඡ වූ ඉච්ඡාවෙන් මඩනා ලද්දා වූ භික්ෂුවගේ යම් අන්‍යයන් ආක්‍රෝශ කිරීම් ආදියක් වේ ද එය නිප්පේසිකතා යි කියනු ලැබේ.

එහි “අක්කොසනා” යනු නො දෙන්නහුට බැණීමෙන් හෝ ඔහුගෙන් යමක් ලබාගැනීම පිණිස නොයෙක් දේ කියා ආක්‍රෝශ කිරීමය.

වම්භනා” යනු අපට නො සලකත හොත් කළ යුතු දේ අපි දනිමුය, අපටත් මෙසේ ද මෙසේ ද කළ හැකිය යනාදීන් තර්ජනය කිරීමය.

ගරහනා” යනු මැරෙන බව නො දන්නෙක, පරලොවක් ඇති බව නො දන්නෙක, රැස්කර තබා මැරෙන්නෙක, පින් පව් නො දන්නෙක, මහ මසුරෙක, මවට පියාටවත් යමක් නො දෙන්නෙක යනාදීන් නින්දා කිරීමය.

උක්ඛෙපනා” යනු නො දෙන්නහුට නින්දා කිරීම පිණිස මහා දානපතියෙක, වෙස්සන්තර රජු වැනියෙක යනාදීන් උසස් කොට කථා කිරීමය. “සමුක්ඛෙපනා” යනු වඩාත් උසස් කොට කථා කිරීමය.

ඛිපනා” යනු නො දෙන්නහුට මොහුගේ ධනයෙන් කවර ප්‍රයෝජනයක් ද, මොහුගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද යනාදීන් කවටකම් කිරීමය.

සංඛිපනා” යනු මොහුට මසුරෙක අදායකයෙකැ යි කියන්නේ කුමට ද? මොහු නිතර ම නැතය යන වචනය සැමට ම දෙන්නේ ය යනාදීන් වඩාත් විසුළු කිරීමය.

පාපනා” යනු නො දෙන කෙනකු බව මසුරකු බව පවසා ජනයාගේ පිළිකුලට පැමිණවීමය. “සංපාපනා” යනු නොයෙක් කරුණු කියා නොයෙක් ආකාරයෙන් ජනයා පිළිකුල් කරන බවට පැමිණවීමය.

අවණ්ණහාරිතා” යනු අගුණ පැතිර යාමට බියෙන් හෝ මොහු දෙනු ඇතැයි සිතා ගෙයින් ගෙට ගමින් ගමට නො දෙන්නහුගේ අගුණ පැතිරවීමය. අගුණ කියමින් ඇවිදීමය.

පරපිට්ඨිමංසිකතා” යනු ඉදිරියේ ගුණ කියා නැති තැනදී අවගුණ කියමින් නින්දා කිරීමය. එසේ කිරීම පිටේ මස් සූරා කෑම වැනි බැවින් “පරපිට්ඨිමංසිකතා” යි කියනු ලැබේ. අනුන්ගේ පිටේ මස් සූරා කන බවය යනු එහි තේරුමය.

ලාභෙන ලාභං නිජිගිංසනතා.

“ලාභසක්කාරසන්නිස්සිතො පාපිච්ඡො ඉච්ඡාපකතො ඉතො ලද්ධං ආමිසං අමුත්‍ර‍ හරති, අමුත්‍ර‍ වා ලද්ධං ආමිසං ඉධ ආහරති, යා එවරූපා ආමිසෙන ආමිසස්ස එට්ඨි ගවෙට්ඨි පරියෙට්ඨි එසනා ගවෙසනා පරියෙසනා අයං වුච්චති ලාභෙන ලාභං නිජිගිංසනතා.”[332]

මේ පාඨයෙන් දැක්වෙන්නේ එක් ගෙයකින් ලැබෙන පිණ්ඩපාතය අනික් තැනකට ගෙන ගොස් දී එතැනින් ලැබෙන පිණ්ඩපාතය අන් තැනකට ගෙන ගොස් දී මෙසේ හුවමාරු කිරීමේ ක්‍ර‍මය ය. ප්‍ර‍ණීත භෝජන ලබා ගැනීම මෙරට භික්ෂූන් අතර ඇතියක් නොවේ. එහෙත් පෙතෙහි එන සියල්ල මෙහි ද දැක්විය යුතු නිසා මේ “ලාභෙන ලාභං නිජිගිංසනය” මේ ග්‍ර‍න්ථයට ද ඇතුළු කරන ලදී. බුදුසසුන ඇති වූ මුල් කාලයේ දඹදිව භික්ෂූන්ට විහාරවලට ගෙනවුත් දන්දීමේ සිරිත නො පැවතිණ. එකල විසූ භික්ෂූහු ගිහිගෙවලදී ද තැන තැන තනා තුබූ ආසනශාලාවල ද දන් වැළදූහ. ඒ කාලයේ ඇතැම් භික්ෂූන් එක් ගෙයකින් ලත් දෙය තමාට හොඳ නො වූයේ නම් අන් තැනකට ගෙන ගොස් එය දී ඒ ගෙයින් වඩා යහපත් බොජුන් ලබා ගන්නට ඇත. ඒ නිසා මේ හුවමාරු කර ගැනීමේ දෝෂය බණ පොත්වලට ඇතුළු කරන්නට ඇත.

එක්විසි අනේසනය

“අනේසන” යනු නුසුදුසු පරිදි ප්‍ර‍ත්‍යය සෙවීමය. ඉහත දැක්වූ කුහනා ලපනා නෙමිත්තකතා නිප්පෙසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතා යන ක්‍ර‍ම පස හැර අයුතු පරිදි ප්‍ර‍ත්‍ය සෙවීමේ තවත් ක්‍ර‍ම එක්විස්සෙක් ඇත්තේ ය. ඒවා අනේසන යන නමින් දක්වා ඇත්තේ ය.

“න භික්ඛවෙ, එකවීසතිවිධාය අනෙසනාය පච්චයා උප්පාදෙතබ්බා, අනෙසනාය හි උප්පන්න පිණ්ඩපාතො ආදිත්තලොහගුලසදිසො, හලාහලවිසූපමො, අනෙසනා හි නාමෙසා බුද්ධපච්චෙකබුද්ධ සාවකෙහි ගරහිතා, පතිකුට්ඨා, අනෙසනාය උප්පන්නපිණ්ඩාපාතං භුඤ්ජන්තස්ස හි හාසො වා සොමනස්සං වා නත්ථි. එවං උප්පන්නො හි පිණ්ඩපාතො මම සාසනෙ චණ්ඩාලස්ස උච්ඡිට්ඨභොජනසදිසො. තස්ස පරිභොගො සතධම්ම මාණවස්ස චණ්ඩාලුච්ඡිට්ඨභත්තපරිභොගො විය හොති.”[333]

මහණෙනි, එක්විසි ආකාර වූ අනේසනයෙන් ප්‍ර‍ත්‍යය නො සෙවිය යුත්තේය. අනේසනයෙන් උපන් පිණ්ඩපාතය ගිනියම් වූ ලොහොගුළි වැනිය, හලාහල විෂ වැනිය. අනේසන නම් වූ මෙය බුද්ධ, ප්‍රත්‍යෙකබුද්ධ, බුද්ධශ්‍රාවකයන් විසින් නින්දා කරන ලද්දේය. පිළිකුල් කරන ලද්දේ ය. අනේසනයෙන් ලත් පිණ්ඩපාතය වළඳන්නහුට ප්‍රීතියක් හෝ සොම්නසක් හෝ නො වේ. එසේ උපන් පිණ්ඩපාතය මාගේ ශාසනයෙහි චණ්ඩාලයකුගේ ඉඳුල් බතක් වැනිය. එය වැළඳීම සතධම්ම නමැති මාණවකයා විසින් කළ චණ්ඩාලයාගේ ඉඳුල් බත වැළඳීම වැනි වේ. (සතධම්ම මාණවකයාගේ කථාව ජාතක පොතෙක් දත හැකිය.)

“වෙජ්ජකම්මං කරොති, දූතකම්මං කරොති, පහිණකම්මං කරොති, ගණ්ඩං ඵාලෙති, අරුමක්ඛණං දෙති, උද්ධවිරෙචනං දෙති, අධොවිරෙචනං දෙති, නත්ථුතෙලං පචති, පිවන තෙලං පචති, වෙළුදානං දෙති, පත්තදානං පුප්ඵදානං ඵලදානං සිනානදානං දන්තකට්ඨදානං මුඛොදකදානං චුණ්ණදානං මත්තිකාදානං දෙති, චාටුකම්මං කරොති, මුග්ගසූපියං පාරිභට්ටං ජංඝපෙසනිකං කරොතීති එකවීසතිවිධාය අනෙසනාය ජීවිකං කප්පෙන්තො අනිපකවුත්ති නාම හොති. න පඤ්ඤාය ඨත්වා ජීවිකං කප්පෙති, තතො කාලකිරියං කත්වා සමණයක්ඛො නාම හුත්වා “සංඝාටිපි ආදිත්තා හොති සම්පජ්ජලිතා” ති වුත්තනයෙන මහා දුක්ඛං අනුභොති.”[334]

වෙදකම් කිරීමය, ගිහියන්ගේ දූතක්‍රියා කිරීමය, ගිහියන් කියන වැඩ කරදීමය, ගෙඩි පැළීමය, තුවාලවලට ගැල්වීමට බෙහෙත් දීමය, ළයවිරේක දීමය, ගෙඩි පැළීමය, අධෝවිරේචන බෙහෙත් දීමය, නස්‍ය තෙල් දීමය, පානය කිරීමට බෙහෙත් තෙල් දීමය, හුණදඬු දීමය, කොළජාති දීමය, මල් දීමය, ගෙඩි දීමය, සබන් දීමය, දැහැටි දීමය, මුව සෝදන දිය දීමය, ඇඟ ගල්වන සුනු (පියර) දීමය, වර්ණවත් මැටි දීමය, තමා පහත් තන්හි තබා ගිහියන් උසස් කොට කථා කිරීමය, ගිහියන් සතුටු කරවීම පිණිස බොරු සැබෑ මිශ්‍ර‍ කොට කථා කිරීමය, ගිහියන්ගේ දරුවන් සුරතල් කිරීමය, ගිහියන්ගේ වැඩ පණිවිඩවලට ගෙයින් ගෙට ගමින් ගමට යාමය යන එක් විසින වැදෑරුම් අනේසනයෙන් ජීවත් වන මහණ නුවණින් ජීවත් වන්නේ නො වේ. ප්‍ර‍ඥාවෙහි පිහිටා ජීවත් වන්නේ නොවේ. ඒ මහණ කාලක්‍රියා කොට ශ්‍ර‍මණ යක්ෂයකු වී “සංඝාටිපි ආදිත්තා හොති සම්පජ්ජලිතා” යි වදාළ ක්‍ර‍මයට මහ දුක් විඳින්නේ වේ.

අනේසන වන්නේ: සතුටු කොට ප්‍ර‍ත්‍යය ලබා ගැනීම හා උපකාර ලබා ගැනීම සඳහා වෙදකම් කිරීමට නුසුදුසු, දීමට නුසුදුසු, වැඩ කර දීමට නුසුදුසු අයට වෙදකම් කිරීම ආදියය. මාපියාදි සුදුසු අයට බෙහෙත් කිරීම දීම ඔවුන්ගේ වැඩ පණිවිඩ කර දීම අනේසනයට අයත් නො වේ. මේ එක්විසි අනේසනය දක්වා ඇත්තේ අතීතලෝකය අනුවය. වර්තමාන ලෝකය අනුව කුලදූෂණ අනේසනයන් කියතහොත්: උපකාර ලැබීමේ අදහසින් වෙදකම් කිරීමට නුසුදුසු ගිහියන්ට වෙදකම් කිරීම, බෙහෙත් දීම, දායකයන්ට හෝ ඔවුන්ගේ දූ දරුවන්ට ලෙඩ සෑදුණු විට වෙදුන් පමුණුවා දීම, ඔවුන් වෙදුන් වෙත කැඳවා ගෙන යාම, රෝහල්වලට ඇතුළු කිරීම, දායකයන්ට කේන්ද්‍ර‍ බලා පලාපල කීම, අත් බලා පලාපල කීම, සෙත්කවි වස් කවි සාදා දීම, මන්ත්‍ර‍ගුරුකම් කරදීම, දායකයන්ගේ දරුවන් පාසැල්වලට ඇතුළු කරවා දීම, ඔවුනට උගෙනීමට උපකරණ සපයා දීම, පන්සල්වල ඇති අඹ දෙහි දොඩම් තැඹිලි ආදිය ගිහියන්ට දීම, ඔවුන්ගේ ගුණ වර්ණනා කිරීම, ඔවුන් උසස් කොට කථා කිරීම යනාදිය කුලදූෂණය ලෙස ද අනේසනය ලෙස ද කිය යුතුය. ආජීවපාරිශුද්ධිය පිළිබඳ සිකපද රැකීම, කුහනාදියෙන් ප්‍ර‍ත්‍යය සැපයීමෙන් වැළකීම, අනේසනයෙන් ප්‍ර‍ත්‍යය සැපයීමෙන් වැළකීම, භික්ෂුවගේ ආජීවපාරිශුද්ධිශීලය ය.

ආර්‍ය්‍යශීලස්කන්ධය

තථාගතයන් වහන්සේ විසින් භික්ෂූන්ට විනය සිකපද පැනවීම ආරම්භ කළේ භික්ෂූන් ඇති වී බෝ කලක් ගත වූවාට පසුය. විනයයෙහි ඇති සිකපද සියල්ල එක්තැනකදී එක්වරක පනවන ලද ඒවා ද නො වේ. භාග්‍යවතුන් වහන්සේට විනය සිකපද පනවා අවසන් කිරීමට දීර්ඝ කාලයක් ගත වන්නට ඇත. මේ විනය සිකපද පනවන්නට පෙර බොහෝ භික්ෂූහු වූහ. උන් වහන්සේලා අතර බොහෝ බොහෝ රහත්හු ද වූහ. ඒ පූර්වකාලීන භික්ෂූන් වහන්සේලා සිකපද පනවා නො තුබූ නිසා ශීලයක් නැතිව විසුවාහු නො වූහ. උන් වහන්සේලා ද ශිලයෙන් යුක්ත වූහ. උන් වහන්සේලාට මහත් වූ ශීලස්කන්ධයක් තිබිණ. “සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො”[335] යනුවෙන් ඇතැම් සූත්‍ර‍ දේශනාවල සඳහන් කර ඇත්තේ ඒ ආර්‍ය්‍යශීලස්කන්ධය ය. එය මූලික උපසම්පදා ශීලයය. එය ස්වභාවසිද්ධ ශීලයකි. එයට පනවන ලද සිකපද නැත. එය චූළසීල මජ්ඣිමසීල මහාසීල වශයෙන් තුන් කොටසක් කොට බුදුරජාණන් වහන්සේගේ ශීලය වශයෙන් බ්‍ර‍හ්මජාල සූත්‍රයෙහි වදාරා ඇත. බුද්ධ ශ්‍රාවකයන්ගේ ශීලය වශයෙන් සාමඤ්ඤඵල, සෝණදණ්ඩ, කූටදන්ත, මහාලී, සුභ, කේවට්ට, තේවිජ්ජ යන සූත්‍ර‍යන්හි වදාරා ඇත්තේ ය. ඒ සූත්‍ර‍ ඇත්තේ දීඝනිකායේය. සූත්‍ර‍වල වදාරා ඇති ආකාරයෙන් උපසම්පදාශීලය සිකපද නැතිව කොටින් සලකාගත හැකිය. ඒ සූත්‍ර‍ධර්ම අනුව පිළිපදින්නා වූ භික්ෂුවගෙන් විනය සිකපද ඉබේ ම රැකෙන්නේ ය. එබැවින් උපසම්පදාශීලය කොටින් සලකා ගත හැකි වීම පිණිස සාමඤ්ඤඵලසූත්‍රයේ එන පරිදි ආර්‍ය්‍ය ශීලය දක්වනු ලැබේ.

චූළසීලය

“කථඤ්ච මහාරාජ, භික්ඛු සීලසම්පන්නො හොති? ඉධ මහාරාජ, භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජි දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. ඉදම්පිස්ස හොති සීලස්මිං.”

මහරජ, මහණ කෙසේ නම් සීලසම්පන්න වේ ද? මහරජ, මේ සසුනෙහි පැවිදි වූ මහණ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, සත්ත්වහිංසාව සඳහා පාවිච්චි කරන දඬු මුගුරු හැර, කඩු කිණිසි තුවක්කු ආදි ආයුධ හැර, පව් පිළිකුල් කරන ස්වභාවයෙන් යුක්තව, මෛත්‍රීසහගත සිත් ඇතිව, සකලසත්ත්වයනට ම යහපතක් වීමේ කැමැත්ත ඇතිව වාසය කෙරේ. ප්‍රාණවධයෙන් වෙන්ව සකලසත්ත්වයන්ට ම හිතානුකම්පාවෙන් විසීම නමැති මේ කරුණ ඒ මහණහුගේ ශීලයය.

මෙහි මුලට රජු සඳහන් වන්නේ මේ සාමඤ්ඤඵලසූත්‍ර‍ය අජාසත් රජුට දේශනය කරන ලද්දක් වන නිසාය.

“අදින්නාදානං පහාය අදින්නාදානා පටිවරතො හොති දින්නදායී දින්නපාටිකංඛී අථෙනෙන සුවිභූතෙන අත්තනා විහරති, ඉදම්පිස්ස හොති සීලස්මිං.”

ඒ මහණ හිමියන් විසින් නුදුන් දෙය සොරසිතින් ගැනීම හැර අදින්නාදානයෙන් වැළකුණේ වෙයි. හිමියන් විසින් දුන් දෙයක් පමණක් ගන්නේ, දුන් දෙය පමණක් ගැනීමේ කැමැත්ත ඇත්තේ, සොර නො වූ පිරිසිදු වූ සිතින් වාසය කෙරේ. එසේ අදින්නාදානයෙන් වැළකී විසීම ඒ මහණහුගේ ශිලය ය.

“අබ්‍ර‍හ්මචරියං පහාය බ්‍ර‍හ්මචාරී හොති, ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා ඉදම්පිස්ස හොති සීලස්මිං.”

ඒ මහණ අබ්‍ර‍හ්මචර්‍ය්‍යාසංඛ්‍යාත ලාමක හැසිරීම හැර ශ්‍රේෂ්ඨ චර්‍ය්‍යා ඇත්තේ වේ. අබ්‍ර‍හ්මචර්‍ය්‍යාවෙන් දුරු වූයේ ගාමධම්ම නම් වූ රාගයෙන් තෙත් වූ දෙදෙනකු අතර පවත්නා ලාමක හැසිරීමෙන් වැළකුණේ වෙයි. එසේ ඒ ලාමක හැසිරීමෙන් වැළකීම ඒ මහණහුගේ ශීලයය.

“මුසාවාදං පහාය මුසාවාදා පටිවරතො හොති, සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිතො අවිසංවාදකො ලොකස්ස. ඉදම්පිස්ස හොති සීලස්මිං.”

ඒ මහණ බොරු කීම හැර බොරු කීමෙන් වැළකුණේ වේ. ඇත්ත කියන්නේ, සත්‍යයයෙන් සත්‍යය ගළපන්නේ, ස්ථිරකථා ඇත්තේ, විශ්වාස කළ හැකි කථා ඇත්තේ, ලෝකය නො රවටන්නේ වෙයි. මේ මුසාවාදයෙන් වැළකීම ද ඒ මහණහුගේ ශීලය ය.

“පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති. ඉතො සුත්වා න අමුත්‍ර‍ අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර‍ වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදයා. ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණං වාචං භාසිතා හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.”

කේලාම් කීම හැර කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. මෙතැනින් අසා මොවුන් හා බිඳවනු පිණිස එතැන නො කියන්නේ වෙයි. එතැනින් අසා ඔවුන් හා බිඳවීම පිණිස මොවුන්ට නො කියන්නේ වෙය, මෙසේ බිඳෙනවුන් සමගි කරන්නේ වෙයි, සමගි වූවන්ගේ සමගියට අනුබල දෙන්නේ වෙයි. සමගි වූවන් අතර වාසයට කැමති වන්නේ වෙයි. සමගි වූවන් හැර යන්නට නො කැමති වන්නේ වෙයි. සමගිය ඇති කරන කථා කියන්නේ වේ. කේලාම් කීමෙන් වැළකීම ඒ මහණහුගේ ශීලයය.

“ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සං වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයංගමා පොරී බහුජනකන්තා බහුජන මනාපා තථාරූපං වාචං භාසිතා හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.”

පරුෂවචන හැර පරුෂවචනයෙන් වැළකුණේ වෙයි. යම් වදනක් දෝෂ නැත්තේ ද කනට සැප වේ ද ප්‍රේමනීය ද සිතට වදින්නේ ද නාගරිකයන්ගේ කථාව වේ ද බොහෝ දෙනාට යහපත් වේ ද බොහෝ දෙනාට ප්‍රිය වේ ද එබඳු වදන් කියන්නේ වේ ද මෙය ද ඒ මහණහුගේ ශීලය වේ.

“සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති. කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති ඉදම්පිස්ස හොති සීලස්මිං.”

සම්පප්‍ර‍ලාප හැර සම්පප්‍රලාපයෙන් වැළකුණේ වෙයි. කාලයට සුදුසු කථා කරන්නේ සත්‍ය වූ කථා කරන්නේ අර්ථයක් ඇති කථා කරන්නේ ධර්මකථා කරන්නේ විනය කථා කරන්නේ සිතෙහි තබා ගැනීමට සුදුසු කථා කරන්නේ වෙයි. මේ සම්පප්‍ර‍ලාපයෙන් වැළකී යහපත් කථා කිරීම ඒ භික්ෂුවගේ ශීලය ය.

“බීජගාමභූතගාමසතමාරම්භා පටිවිරතො හොති එකභත්තිකො හොති රත්තූපරතො. පටිවිරතො විකාලභෝජනා, නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති, මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති, (උච්චාසයනමහාසයනා පටිවිරතො හොති) ජාතරූපරජපටිග්ගහණා පටිවිරහො හොති, ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.”

පඤ්චවිධ බීජයන් හා ඒවායින් හටගත් අමු ගස්වැල් තණ සිඳීමෙන් බිඳීමෙන් වැළකුණේ වෙයි, එක් බතක් වළඳන්නේ රාත්‍රිභෝජනයෙන් වැළකුණේ විකාල භෝජනයෙන් වැළකුණේ වෙයි. නැටුම් ගැයුම් වැයුම් යන මේවා කිරීමෙන් කරවීමෙන් හා කෙලෙස්වලට හේතුවන කුශලයට පටහැණි දෑ බැලීමෙන් ද වැළකුණේ වෙයි. මල් පැළඳීම සුවඳින් හා විලවුනෙන් මුහුණේ අඩු තැන් පිරවීම පැහැය ගැන්වීම යන මේවායින් වැළකුණේ වෙයි, උච්චාසයන මහාසයන පරිභෝගයෙන් වැළකුණේ වෙයි, රන් රිදී මසු කහවණු පිළිගැනීමෙන් වැළකුණේ වෙයි, අමු ධාන්‍ය පිළිගැනීමෙන් වැළකුණේ වෙයි, අමුමස් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි.

(“එකභත්තිකො රත්තූපරතො විකාලභොජනා පටිවිරතො” යන මෙහි අදහස මෙසේ දත යුතුය. උදයබතය සවස්බතය කියා බත් දෙකකි. අරුණෝදයේ පටන් හිර මුදුන්වීම තෙක් පෙරවරු කාලයේ වළඳනා බත උදයබතය. ඉර මුදුන් වීමෙහි පටන් පසුදින අරුණෝදය තෙක් කාලය තුළ වළඳනා බත සවස්බතය. ඒ දෙකට පාතරාස සායමාස යන නම් කියනු ලැබේ. උදයබත එක් බතෙකි, සවස්බත එක් බතෙකි. ඒ බත් දෙකින් පෙරවරු කාලයේ බත පමණක් වළඳන්නේ ඒකභත්තික නම් වේ. පෙරවරු කාලයේ විසිතිස්වරක් වැළඳුව ද එය උදය බත නමැති එකබත ම බැවින් විකාලයේ නො වළඳන පෙරවරුකාලයේ පමණක් වළඳන භික්ෂුව ඒකභත්තික නම් වේ. “රත්තූපරතො” යනුවෙන් කියැවෙන්නේ රාත්‍රිභෝජනයෙන් වැළකීමය. “විකාලභෝජනා පටිවිරතො” යනුවෙන් කියැවෙන්නේ මධ්‍යාහ්නයේ පටන් අරුණෝදය දක්වා කාලය වූ විකාලයේ වැළඳීමෙන් වැළකීමය.)

“ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො හොති, දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති, අජෙලකපටිග්ගහණා පටිවිරතො හොති, කුක්කුට සූකරපටිග්ගහණා පටිවිරතො හොති, හත්ථිගවාස්ස වළවා පටිග්ගහණා පටිවිරතො හොති, ඛෙත්තවත්ථු පටිග්ගහණා පටිවිරතො හොති, දූතෙය්‍ය පහිණගමනානුයොගා පටිවිරතො හොති, ඉදම්පිස්ස හොති සීලස්මිං.”

ගැහැනුන් හා කුමාරියන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි, දාසිදාසයන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි, එළුවන් තිරළුවන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. කුකුළන් හූරන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි, ඇතුන් ගවයන් වෙළඹුන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි, කෙත්වතු පිළිගැනීමෙන් වැළකුණේ වෙයි, ගිහියන්ගේ ලියුම් හෝ පණිවිඩ ගෙන ඒ ඒ තැන යාම වූ දූත ක්‍රියාවෙන් හා ගිහියන්ගේ වැඩපණිවිඩ සඳහා ගෙයින් ගෙට යාමෙන් ද වැළකුණේ වෙයි. මෙය ද ඔහුගේ ශීලය ය.

“කයවික්කයා පටිවිරතො හොති, තුලාකූටකංසකූටමාණකූටා පටිවිරතො හොති, උක්කොටනවඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති, ඡෙදනවධබන්ධන-විපරාමොසආලොපසහසාකාරා පටිවිරතොහොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.”

චූළ සීලං

බඩු මිලයට ගැනීමෙන් හා විකිණීමෙන් වැළකුණේ වෙයි. තුලාකූට කංසකූට මානකූට යන ක්‍ර‍ම වලින් අන්සතු වස්තුව රවටා ගැනීමෙන් වැළකුණේ වෙයි, උක්කෝටන වඤ්චන නිකති යන ක්‍ර‍මවලින් අනුන් රැවටීමෙන් වැළකුණේ වෙයි. කැපීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට අන්සතු වස්තුව පැහැර ගැනීමය, ගම් නියම්ගම් පැහැරීමය, කඩු ආදිය දක්වා බිය ගන්වා වස්තුව පැහැර ගැනීමය යන මේවායින් වැළකුණේ වෙයි. මේවායින් වැළකීම ද ඒ මහණහුගේ ශීලය ය.

මේ චූළ සීලයයි.

මෙහි “තුලාකූට” යනු හොර තරාදි හොරපඩි සාදාගෙන, ගැනීමේදී බඩු වැඩියෙන් ගෙන මුදල් අඩුවෙන් දීමය. “කංසකූට” යනු රන්බඳුන් හා එවැනි ලොහොබඳුන් කීපයක් ද එකට තබාගෙන රන්බඳුන උරගා පෙන්වා සියල්ල ම රන්බඳුනේ මිලයට දී මුදල් ගැනීමය. “මානකූට” යනු අඩු වැඩි කොට සොරට මැන දීමෙන් ගැනීමෙන් වඤ්චා කිරීම ය. එසේ වඤ්චා කරන්නෝ මනින භාජනයේ පතුලේ කුඩා සිදුරක් සාදා, ගන්නා කල්හි එය තමාගේ භාජනයට උඩින් අල්ලා ඒ සිදුරෙන් තමාගේ භාජනයට ගන්නා දෙයින් එක්තරා ප්‍ර‍මාණයක් වෑස්සෙන පරිදි මනින තෙල් ආදිය සෙමින් වත් කර ගනිති. දෙන කල්හි ඒ සිදුර ඇඟිලි අගින් වසා ගෙන මැන දෙති. වී සහල් ආදිය මැනීමේදී ද ගැනීමේදී හැකි තාක් මුදුන උස්කොට මැන ගනිති. දීමෙහිදී ඉක්මනින් සහල් ආදිය භාජනයට ලා මුදුන කඩා දෙති. “උක්කොටන” යනු අහිමියන්ට යම්කිසිවක් හිමි කර දීම සඳහා අල්ලස් ගැනීම ය. “වඤ්චන” යනු නොයෙක් උපායෙන් වඤ්චා කිරීම ය. බොරු බෙහෙත් දීම, බොරු යන්ත්‍ර‍ මන්ත්‍ර‍ කිරීම, බොරු ශාස්ත්‍ර‍ කීම යනාදියෙන් මුදල් වඤ්චා කර ගැනීම ය. “නිකති” යනු නොයෙක් ක්‍ර‍මවලින් රිදී නො වන දෙය රිදී ලෙස, රන් නො වන දෙය රන් ලෙස, මැණික් නො වන දෙය මැණික් ලෙස දීම් ආදියෙන් වඤ්චා කිරීමය. සමාන දෙයකින් වඤ්චා කිරීම ය.

මධ්‍යම ශීලය

“යථා වා පනෙක භොන්තෙ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං බීජගාමභූතගාමසමාරම්භා අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං? මූලබීජං ඛන්ධබීජං එළුබීජං අග්ගබීජං බීජබීජමෙව පඤ්චමං, ඉති එවරූපං බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති, ඉදම්පිස්ස හොති සීලස්මිං.”

ඇතැම් පින්වත් මහණ බමුණු කෙනෙක් සැදැහැයෙන් දෙන බොජුන් වළඳා මෙබඳු වූ බීජගාම භූතගාම විකෝපනයෙහි යෙදෙමින් වෙසෙත්. ඒ බීජගාම භූතගාමයෝ කවරහු ද? මූලබීජය ඛන්ධබීජය ඒළුබීජය අග්ගබීජය පස්වන බීජබීජය යන මොහුය. මේ සසුනෙහි මහණ තෙමේ එසේ අන් මහණ බමුණන් කරන බීජගාමභූතගාම විකෝපනයෙන් වැළකුණේ වෙයි, එය ඒ මහණහුගේ ශීලය ය.

සැදැහැයෙන් දෙන බොජුනය යනු කර්මය හා කර්මඵලයත්, පරලොව ඇති බවත් විශ්වාස කර පින් ලැබීම සඳහා දෙන භෝජනයය. මොහු මාගේ නෑයෙක මිතුරෙක කියා හෝ දුන් කල්හි මොහු මට ද මෙනම් උපකාරයක් කරනු ඇත කියා හෝ මොහු මට මෙබඳු උපකාරයක් කෙළේය කියා හෝ ලෝක චාරිත්‍ර‍යක් නිසා හෝ ලෝකාපවාදයෙන් මිදෙනු පිණිස හෝ දීම ශ්‍ර‍ද්ධාවෙන් දීම නො වේ. “සද්ධා දෙය්‍යානි භෝජනානි භුඤ්ජිත්වා” යනු දේශනාශීර්ෂයය. මෙහි අර්ථය ශ්‍ර‍ද්ධායෙන් දෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍ර‍ත්‍යය යන සිවුපසය වළඳාය යනුයි. “බීජ” ගැන භූතගාමසිකපදය දැක්වූ තැන විස්තර කර ඇත.

“යථා වා පනෙකෙ භොන්තෙ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං සන්නිධිකාරපරිභොගං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං? අන්නසන්නිධිං පානසන්නිධිං වත්තසන්නිධිං යානසන්නධිං සයනසන්නිධිං ගන්ධසන්නිධිං ආමිසන්නිධිං, ඉති වා ඉති එවරූපා සන්නිධිකාරපරිභොගා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.”

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා අන්නසන්නිධිය පානසන්නිධිය වත්ථසන්නිධිය යානසන් නිධිය සයනසන්නිධිය ගන්ධසන්නිධිය ආමිසසන්නිධිය යන මොවුන්ගේ වශයෙන් සන්නිධිකාර පරිභෝගයන්හි යෙදී වාසය කෙරෙති. මේ සසුනෙහි සැදැහැයෙන් පැවිදි වූ මහණ තෙමේ සන්නිධිකාර පරිභෝගයෙන් වැළකුණේ වෙයි. එද ඒ මහණහුගේ ශීලය ය.

භික්ෂුව විසින් ආහාරාදිය පිළිගත යුත්තේ ඒ ඒ දිනයට වුවමනා ප්‍ර‍මාණයට ය. අධිකව පිළිගත ද, ඒවා අන්‍යයන්ට දී ඒ දිනයේ ම අවසන් කළ යුතු ය. එක් දිනක ලද දෙය මතු දිනවල ප්‍රයෝජනයට තබා ගෙන පරිභෝග කිරීම සන්නිධිකාර පරිභෝග නම් වේ.

අන්නසන්නිධි.

අද පිළිගත් ආහාරය තබා ගෙන සෙට අනිද්දා පරිභෝග කිරීම අන්නසන්නිධි නම් වේ. සන්නිධිකාර පරිභෝගය විනය ක්‍ර‍මයය, සල්ලේඛපටිපදාවය යන දෙයාකාරයෙන් ම කිය යුතු ය. විනය ක්‍ර‍මය අනුව අද පිළිගත් ආහාරය තබා නෙ සිට පසුදින වැළඳුව හොත් “යො පන භික්ඛු සන්නිධිකාරකං ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්‍ය වා භුඤ්ජෙය්‍ය වා පාචිත්තියං” යන සිකපදයෙන් පචිති ඇවැත් වේ. උපසම්පන්න භික්ෂුව විසින් තමා පිළිගත් ආහාරය සාමණේරාදි අනුපසම්පන්නයකුට දී ඔවුන්ගේ කොටස පසුදිනට තබවා පිළිගන්වා ගෙන වැළඳුව හොත් ඉහත කී සිකපදයෙන් ඇවැත් නොවේ. ගිහියකු විසින් විහාරයට ගෙන ආ ආහාරයක් එකෙණෙහි නො පිළිගෙන අනුපසම්පන්නයන් ලවා ගන්වා තබවා පසුදින ඔවුන්ගෙන් ගෙන වැළඳුව ද විනය ක්‍ර‍මයේ සැටියට ඇවැත් නොවේ. එහේත එසේ කිරීම සල්ලේඛ පටිපදාවට විරුද්ධය. සල්ලේඛ පටිපදාව යනු ලෝභාදි කෙලෙසුන් ඇති නො වන පරිදි ඒවා ඇති වන්නට ඉඩ නො තබා ජීවත් වීම ය.

පානසන්නිධි.

අම්බපානාදි එක් දිනක් පරිභෝගයට කැප පානයක් පිළිගෙන පසුදිනට තබා ගැනීම පානසන්නිධි නම් වේ. “සන්නිධිකතං යං කිඤ්චි යාවකාලිකං වා යාමකාලිකං වා අජ්ඣො හරිතුකාමතාය ගණ්හන්තස්ස පටිග්ගහණෙ තාව ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහරතො පන එකමෙකස්මිං. අජ්ඣොහාරෙ පාචිත්තියං.”[336] යනුවෙන් සමන්තපාසාදිකාවෙහි දැක්වෙන පරිදි සන්නිධි කළ පානය වැළඳීම පිණිස පිළිගැනීමෙන් දුකුළා ඇවැත් ද ගිලීමක් පාසා පචිති ඇවැත් ද වේ. මේ විනය ක්‍ර‍මය ය. ආහාරය මෙන් එය සාමණේරාදීන්ගේ ආධාරයෙන් ඇවැත් නො වන පරිදි තබාගෙන පරිභෝග කළ හැකිය. එසේ කිරීම සල්ලේඛපටිපදාව නො වන බැවින් එය මේ ආර්‍ය්‍යශීලයට විරුද්ධ ය.

වත්ථසන්නිධි.

සංඝාටි උත්තරාසංග අන්තරවාසක යන මේ සිවුරු තුන සියලු භික්ෂූන්ට තිබිය යුතුය. ඒ තුන් සිවුරු තිබියදී අතිරේක වශයෙන් ලැබෙන සිවුරු හා වෙනත් වස්ත්‍ර‍ මතු ප්‍රයෝජනය සඳහා තබා ගැනීම වත්ථසන්නිධි නම් වේ. සංඝාටි උත්තරාසංග අන්තරවාසක යන මේ සිවුරු සංඝාටි ආදි වශයෙන් එක එක මිස දෙක තුන බැගින් අධිෂ්ඨාන කිරීමට ඉඩ නැත. තුන් සිවුරු ඉටාගෙන ඉන්නා භික්ෂුවට අතිරේක චීවරයක් ලද හොත් එය අතිරේක චීවරයක් වශයෙන් දස දිනක් තබා ගැනීමට ඉඩ ඇත. දස දින ඉක්මීමෙන් නිසගි පචිති වේ. විකප්පනාදි විධිවලින් විනය ක්‍ර‍මයෙන් ඇවැත් නො වන පරිදි බොහෝ සිවුරු තබා ගැනීමට අවකාශ ඇත්තේය. එහෙත් එය සල්ලේඛපටිපදාවට නො ගැලපේ. සල්ලේඛපටිපදාව රකින, මේ ආර්‍ය්‍යශීලය රකින භික්ෂුව විසින් අතිරේක චීවර නො පිළිගත යුතුය. පිළිගත ද එය වහා අනිකෙකුට දිය යුතුය. දීමට සුදුස්සකු නො මැති නම් පැමිණෙන තුරු තබා ගැනීම සුදුසු ය. පැමිණි වහා ම එය දිය යුතුය.

යානසන්නිධි.

න හත්ථියානං සමණස්ස කප්පති

න අස්ස යානං න රථෙන යාතුං

ඉදඤ්ච යානං සමණස්ස කප්පති

උපාහනා ධාරයතො සීලක්ඛන්ධං.[337]

යනුවෙන් දැක්වෙන පරිදි හස්තියාන අශ්වයානාදිය භික්ෂූන්ට අකැප ය. භික්ෂූන්ගේ යානය උපාහනය ය. “න භික්ඛවෙ යානෙන යායිතබ්බං, යො යායෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනු වදාරා ඇති බැවින් හස්තියානාදියෙන් යාමෙන් ද ඇවැත් වේ. විනයේ සැටියට නම් පාවහන් වැඩි ගණනක් තබා ගැනීමෙන් වන ඇවැතක් නැත. මේ ආර්‍ය්‍යශීලය රකින භික්ෂුව විසින් තබාගත යුත්තේ පා සේදූ විට පාවිච්චියට එක් වහන් සඟලක් හා අන් තන්හි පාවිච්චියට තවත් පාවහන් සඟලක්ය කියා පාවහන් ජෝඩු දෙකක් පමණෙකි. වැඩි ගණනක් තබා ගැනීම යානසන්නිධි ය.

සයනසන්නිධි.

සයන යනු නිදාගැනීමට පාවිච්චි කරන ඇඳන් ය. විනය ක්‍ර‍මයේ සැටියට සයන සන්නිධියෙන් වන ඇවැතක් නැත. මේ ආර්‍ය්‍යශීලය පුරන භික්ෂුව විසින් ඇඳන් දෙකකට වඩා නො තබා ගත යුතුය. රාත්‍රියේ වෙසෙන තැන එක් ඇඳක් ද දවාලෙහි වෙසෙන තැන එක් ඇඳක් ද තබා ගැනීම සල්ලේඛපටිපදාවට විරුද්ධ නැත. දෙකකට වැඩියෙන් තබා ගැනීම සයන සන්නිධිය ය.

ගන්ධසන්නිධි.

“ගන්ධ” යනු සඳුන් ආදි සුගන්ධ ද්‍ර‍ව්‍යයෝ ය. සමේ රෝගවලට බෙහෙත් වශයෙන් භික්ෂූන්ට ද සුවඳවර්ග පාවිච්චි කළ හැකිය. බෙහෙත් සඳහා ගන්නා ලද සුගන්ධ ද්‍ර‍ව්‍යයන් රෝගය සුව වන තෙක් තබාගෙන පරිභෝග කිරීම සුදුසුය. රෝගය සුව වූ පසු මතු ද රෝගය හටගත හොත් ගැනීමට තබා ගැනීම ගන්ධසන්නිධිය ය. එය මේ ආර්‍ය්‍යශීලයට විරුද්ධය. එයින් සල්ලේඛපටිපදාව පලුදු වේ. සුවඳ වර්ග රැස් කොට තබා ගැනීමෙන් විනය ක්‍ර‍මයෙන් වන ඇවතක් නැත.

ආමිසසන්නිධි.

දායකයන්ගෙන් දානය නො ලැබෙන දිනවල හෝ පිඬු සිඟා යා නොහෙන දිනවල හෝ පිණ්ඩපාතය නො ලත් දිනවල හෝ ප්‍රයෝජනය පිණිස සහල් පොල් ලුණු මිරිස් පරිප්පු කරවල ආදිය රැස් කර තබා ගැනීම ආමිස සන්නිධි නම් වේ. මේ ආර්‍ය්‍යශීලය පුරන භික්ෂුවට ඒවාට ඉඩක් නැත. නොකල්හි පැමිණෙන සොරකුට හෝ එවැනි අනිකකුට දීම පිණිස භික්ෂුවට තමාගේ වාසස්ථානයෙහි සහල් නැළියක් හා සකුරු පිඩක් ද ගිතෙල් කාලක් ද තබා ගැනීම සුදුසුය යි අටුවාවෙහි දැක් වේ. එපමණ ආමිෂයන් තබා ගැනීමෙන් ආර්‍ය්‍යශීලය පලුදු නො වේ. අධිකව තමාගේ ප්‍රයෝජනය පිණිස තබා ගැනීමෙන් ආර්‍ය්‍යශීලය පලුදු වේ. විනය ක්‍ර‍මයේ සැටියට ඇවැත්වලට හසු නො වී සාමණේරාදීන්ගේ මාර්ගයෙන් කප්පිය කුටිවල වුවමනා තරම් ආමිෂ රැස්කර තැබිය හැකි ය.

“යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූදකදස්සනං අනුයුත්තා විහරන්ති සෙය්‍යථිදං? නච්ච ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාලං කුම්භථුනං සොභනගරකං චණ්ඩාලං වංසං ධොපනං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිසයුද්ධං උසභයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං උය්‍යොධිකං බලග්ගං සෙනාබ්බ්‍යුහං අණීකදස්සනං ඉති වා ඉති එවරූපා විසූකදස්සනා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.”

ඇතැම් සමණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයුමය, බොහෝ නළුවන් රැස්ව කරන නැටුමය, රාමායණාදි කථා කීමය, තාලම් ගැසීමය, ඝන තාලම් ගැසීමය, කුම්භථුන නම් බෙර වැයීමය, ප්‍ර‍තිභාන චිත්‍ර‍ය, යගුළිවලින් කරන ක්‍රීඩාව හෝ චණ්ඩාලයන්ගේ සණ සේදීමේ ක්‍රීඩාව ය, හුණදඬු ඔසවා කරන ක්‍රීඩාව ය, මිනීඇට සේදීම ය, ඇත්පොර ය, අස්පොර ය, මීහරක් පොර ය, එළහරක් පොරය, එළු පොරය, බැටළු පොරය, කුකුළු පොර ය, වටුපොර ය, පොලුවලින් කරන පොර ය, මිටින් කරන පොර ය, මල්ලව පොර ය, සෙබලුන්ගේ යුද්ධ ය, සේනා ගණන් ගැනීමය, සේනා රැස්වීම ය, බලඇණි දැකීම ය යන මේ ප්‍ර‍තිපත්තියට පටහැණි දෑ බැලීමෙහි කිරීමෙහි කරවීමෙහි යෙදී වාසය කෙරෙති. මේ සස්නෙහි භික්ෂු තෙමේ ඒවායින් වැළකී වාසය කරයි. ඒ විසූකදස්සනයෙන් වැළකී වාසය කිරීම ඔහුගේ ශීලය ය.

මෙහි “ධොපන” යනුවෙන් කියවෙන මිනී ඇට සේදීම ඇතැම් ජනපදවල පවත්නා ක්‍රියාවෙකැ යි අටුවාවෙහි දක්වා ඇත්තේ ය. කෙනකු මළ කල්හි සිරුර කුණු වන තෙක් වළලා තබා කුණු වූ පසු ගොඩ ගෙන ඇට සෝදා ඒවායේ සුවඳ ගල්වා තබා නැකැත් දිනවලදී ඒවා සමීපයේ මත්පැන් හා බොහෝ ආහාරපාන තබා ගෙන කා බී හැඬීම ඒ ප්‍රදේශවල චාරිත්‍රයෙකැයි කියනු ලැබේ. “වේතාල” යන වචනයට ඝනතාලම් ගැසීමය, මන්ත්‍ර‍වලින් මළමිනී නැගිටවීමය යි අර්ථ දෙකක් කියා ඇත්තේ ය.

“යථා වා පනෙකෙ භොන්තො සමණ බ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං ජුතප්පමාදට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති. සෙය්‍යථිදං? අට්ඨපදං දසපදං ආකාසං පරිහාරපථං සන්තිකං ඛලිකං ඝටිකං සලාකභත්තං අක්ඛං පංගචීරං වංකකං මොක්ඛචිකං චිංගුලකං පත්තාළ්හකං රථකං ධනුකං අක්ඛරිකං මනෙසිකං යථාවජ්ජං ඉති වා ඉති එවරූපා ජුතප්පමාදට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.”

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා, එක් අතකට කොටු අට බැගින් ඇති පෝරුවෙහි කරන ක්‍රීඩාව ය, කොටු දසය බැගින් ඇති පෝරුවෙහි කරන ක්‍රීඩාව ය, දූපෝරු නැති හිස්තැන කරන ක්‍රීඩාව ය බිම කොටු ඇඳ පනිමින් කරන ක්‍රීඩාව ය, එකිනෙක ළං කොට එලූ ගල්කැට වලට හෝ දාදු කැටවලට අනික්වා නො සෙලවන පරිදි නියෙන් ගසමින් කරන ක්‍රීඩාව ය, දාදු කැටවලින් ක්‍රීඩා කිරීමය, දික් වූ ද කෙටි වූ ද දඬුවලින් කරන ක්‍රීඩාව ය, ඉරටු මිටිවලින් රූප දැක්වීම් වශයෙන් කරන ක්‍රීඩාව ය, පන්දුවෙන් ක්‍රීඩා කිරීම ය, පත්‍ර‍වලින් තැනූ නළා පිඹිමින් කරන ක්‍රීඩාව ය, කුඩා නගුලෙන් ක්‍රීඩා කිරීම ය, පොළුවල එල්ලී කරනම් ගැසීම ය, තල්පත් ආදියෙන් කැරකෙන සුළං පෙති සාදා ක්‍රීඩා කිරීම ය, පතින් කළ නැළියෙන් වැලි ආදිය මනිමින් කරන ක්‍රීඩාව ය, කුඩා රථයෙන් ක්‍රීඩා කිරීම ය, සෙල්ලම් දුන්නෙන් ක්‍රීඩා කිරීම ය, පිටෙහි හෝ අහසෙහි අකුරු ලිවීමෙන් ක්‍රීඩ කිරීම ය, සිතන දෙය කීමෙන් ක්‍රීඩා කිරීම ය, අඳ බව කොරබව කුදුබව ආදි අනුන්ගේ ඇද පලුදු දැක්වීම් වශයෙන් ක්‍රීඩා කිරීමය යන ප්‍ර‍මාදයට හේතු වන සූදු ආදි ක්‍රීඩාවල යෙදෙමින් වාසය කෙරෙති. මේ සසුනෙහි භික්ෂු තෙමේ ඒවායින් වැළකී වාසය කරයි. එය ද ඔහුගේ ශීලයය.

මෙහි දක්වා ඇත්තේ අතීතලෝකයේ පැවති ක්‍රීඩා ය. වර්තමාන ලෝකයේ ඇත්තේ ඒවාට වෙනස් ක්‍රීඩාය. ලෝකයෙහි ක්‍රීඩා කලින් කල වෙනස් වේ. පැවිද්දන් විසින් මෙහි දැක්වූ ක්‍රීඩාවලින් ම නො ව වර්තමාන ලෝකයේ ඇති සියලු ම සූදුවලින් ද ලොතරැයි ටිකැට් ගැනීමෙන් ද නොයෙක් ක්‍රීඩාවලින් ද වැළකී වාසය කළ යුතුය. එය භික්ෂුගේ එක් ශීලයෙකි.

“යථා වා පනෙක ‍භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා, තෙ එවරූපං උච්චාසයනමහාසයනං අනුයුත්තා විහරන්ති. ස්‍යෙථිද? ආසන්දිං පල්ලංකං ගොණකං චිත්තකං පටලිකං පටිකං තුලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ටිස්සං කොසෙය්‍යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කදලිමිගපවරපච්චතථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං ඉති වා ඉති එවරූපා උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා ආසන්දි නම් වූ පමණට වඩා උස් පුටුය, පාදයන්හි සිංහව්‍යාඝ්‍රාදි සතුන්ගේ රූප තබා කළ ආසනය, සතරඟුලකට වඩා දික් ලොම් ඇති ඇතිරිය, එළුලොම්වලින් විසිතුරු කොට වියන ලද ඇතිරිය, එළුලොමින් කළ සුදු ඇතිරිය, ඝනට මල් ඇති එළුලොම් ඇතිරිය, පුළුන් පුරවා ඇති ඇතිරිය, සිංහව්‍යාඝ්‍රාදි රූපවලින් විසිතුරු කළ ඇතිරිය, දෙපස රැල් ඇති එළුලොම් ඇතිරිය, එකපසක රැල් ඇති එළුලොම් ඇතිරිය, රන්හුයින් විසිතුරු කළ තිහිරි හුයින් කළ ඇතිරිය, රන් හුයින් විසිතුරු කළ පටහුයින් කළ ඇතිරිය, නාටිකාවන් සොළොස් දෙනකුට සිට නැටිය හැකි එළුලොම් ඇතිරිය, ඇතුපිට අතුරන ඇතිරිය, අසුපිට අතුරන ඇතිරිය, ඇඳේ ප්‍ර‍මාණයට අඳුන් දිවි සමින් කළ ඇතිරිය, කදලිමිග නම් වූ මුවන්ගේ සමින් කළ ඇතිරිය, රතුවියන ඇති ඇඳය, දෙපස රතු කොට්ට පිහිටුවා ඇති ඇඳය (කවිච්චිය) යන මේ උච්චාසයනමහාසයනයන් පරිභෝග කිරීමෙහි යෙදෙති. මේ සස්නෙහි මහණ තෙමේ ඒ උච්චාසයන මහාසයන පරිභෝගයෙන් වැළකී වාසය කරයි. ඒ උච්චාසයනමහාසයන පරිභෝගයෙන් වැළකීම ඒ මහණහුගේ ශීලය ය.

පැවිද්දකුට උච්චාසයනමහාසයනයන් ලද හොත් ආසන්දි නම් වූ උස් පුටුවෙහි පා කෙටි කර පරිභෝගයට ගැනීම සුදුසුය. පල්ලංකය සත්ව රූප ඉවත්කොට පරිභෝගයට ගැනීම ද, තුලිකා නම් පුළුන් පිරවූ ඇතිරිය ලිහා කොට්ට සාදා පරිභෝගයට ගැනීම ද, ඉතිරි ඇතිරි බිම එළා පරිභෝගයට ද සුදුසුය.

“යථා වා පනෙකෙ භොන්තෙ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං මණ්ඩනවිභූසනට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති. සෙය්‍යථිදං? උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලා විලෙපනං මුඛචුණ්ණකං මුඛාලෙපනං හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩකං නාළිකං ඛග්ගං ඡත්තං චිත්‍රෑපාහනං උණ්හීසං මණිං වාළවිජිනිං ඔදාතානි වත්ථානි දීඝදසානි ඉති වා ඉති එවරූපා මණ්ඩනවිභූසනට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.”

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා, ඇඟෙහි සුවඳ සුනු ඉලීමය, අත්පා ආදියේ සටහන යහපත් වීම පිණිස තෙල් ගල්වා මැඩීමය, සුවඳ පැනින් නෑමය, මල්ලවයන් මෙන් ඇඟේ මස් වැඩෙනු පිණිස මුගුරුවලින් ඇඟ තැළීමය, කැඩපත් පරිහරණය කිරීමය. අලංකාරය පිණිස ඇඟ අඳුන් ගැල්වීමය, මල් පැළඳීමය, ඇඟ පැහැපත් කරනු පිණිස විලවුන් ගැල්වීමය, මුහුණෙහි සුවඳ සුනු ගැල්වීමය, කැලැල් මකනු පිණිස මුහුණෙහි විලවුන් ගැල්වීමය, අලංකාරය පිණිස අතෙහි පළඳනා බැඳීමය, හිස්මුදුනෙහි කොණ්ඩය බැඳ රන් ආභරණාදියෙන් සැරසීමය, අලංකාර සැරයටි දැරීමය, ස්ත්‍රීරූප පුරුෂරූපාදියෙන් විචිත්‍ර‍ බෙහෙත් නළ දැරීමය, තියුණු කඩු දැරීමය, විසිතුරු කුඩ දැරීමය, විසිතුරු පාවහන් දැරීමය, නළල්පට දැරීමය, සිළුමිණි පැළඳීමය, වල්විදුනා දැරීමය, දික් දහවලු ඇති සුදුවත් හැඳීමය යන මේවායින් ශරීරය සැරසීම කෙරෙති. මේ සස්නෙහි මහණ ඒවායින් වැළකී වාසය කරයි. එය ද ඔහුගේ ශීලයය.

“යථා වා පනෙකෙ හොන්තෙ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා, තෙ එවරූපං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති. සෙය්‍යථිදං? රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඥාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං කුමාරකථං කුමාරිකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්ථකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං, ඉති වා ඉති එවරූපායා තිරච්ඡානකථාය පටිවිරතො හොති, ඉදම්පිස්ස හොති සීලස්මිං.”

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහ ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානයන් පිළිබඳ කථාය, වස්තු පිළිබඳ කථාය, යහන් පිළිබඳ කථාය, මල් පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, යාන පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, ජනපද පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, කුමාරයන් පිළිබඳ කථාය, කුමාරියන් පිළිබඳ කථාය, ශූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, ජලස්ථාන හෝ කුම්භදාසීන් හෝ පිළිබඳ කථාය, මියගිය අතීත ඥාතීන් පිළිබඳ කථාය, නානාප්‍ර‍කාර නිරර්ථක කථාය, ලෝකය පිළිබඳ කථාය, සමුද්‍ර‍ය පිළිබඳ කථාය, දියුණුව හා පිරිහීම පිළිබඳ කථාය යන මේ තිරශ්චීන කථාවන්හි යෙදී වාසය කෙරෙති. මේ සසුනෙහි භික්ෂු තෙමේ ඒ තිරශ්චීන කථාවලින් වැළකුණේ වේ. එය ද ඒ මහණහුගේ ශීලය ය.

ස්වර්ගමෝක්ෂයන්ට බාධක ආර්‍ය්‍යමාර්ගය අවුරන නිරර්ථක කථා තිරශ්චීන කථා නම් වේ. අසවල් රජ බොහෝ සේනා ඇතියෙකි. බොහෝ ධනය ඇතියෙකි, බොහෝ රටවල් ඇතියෙකි, නිර්භීත කෙනෙකි යනාදීන් කෙරෙන තෘෂ්ණා සහගත කථාව ම තිරශ්චීන කථාව වේ. මෙතරම් ආනුභාවය ඇතිව ධනසේනා සම්පත් ඇතිව විසූ අසවල් රජ ද මිය ගියේය යනාදි අනිත්‍ය ප්‍ර‍තිසංයුක්තකථාව රාජකථාව වුව ද තිරශ්චීන කථාව නො වේ. චෝරකථාදිය ද එසේ ම ය. රාජකථාදිය පිළිබඳ විනයයෙහි සිකපදයක් නො දක්නා ලැබේ.

“යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විග්ගාහිකකථං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං? “න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සයි? මිච්ඡාපටිපන්නො ත්වමසි, අහමස්මි සම්මා පටිපන්නො. සහිතං මෙ අසහිතං තෙ. පුරෙවචනීයං පච්ඡා අවච, පච්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ්ණං තෙ විපරාවත්තං, ආරොපිතො තෙ වාදො නිග්ගහිතොසි, චරවාදප්පමොක්ඛාය නිබ්බෙඨෙහි වා සචෙ පහොසී” ති ඉති වා ඉති එවරූපාය විග්ගාහිකකථාය පටිවිරතො හොති ඉදම්පිස්ස හොති සීලස්මි.”

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා මෙසේ වාද කථා කරමින් හැසිරෙති. කෙසේ ද යත්? “නුඹ මේ ධර්මවිනය නො දන්නෙහි, මම මේ ධර්මවිනය දනිමි. නුඹ මේ ධර්මවිනය දන්නෙහි ද? නුඹ වරදවා පිළිපදින්නෙහිය, මම මැනවින් පිළිපදින්නේ වෙමි. මාගේ කීම යුක්තියුක්තය, නුඹේ කීම වැරදිය. නුඹ පළමුවෙන් කියයුත්ත පසුව කීයෙහිය, පසුව කිය යුත්ත පළමුවෙන් කීයෙහිය. නුඹ බොහෝ කලක් පුරුදු කෙරෙමින් ප්‍ර‍ගුණ කර ගන්නා ලද්ද මාගේ එක වචනයෙන් ම බිඳී ගියේ ය. මා විසින් තට වාදාරෝපණය කරන ලද්දේ ය. නුඹ නිග්‍ර‍හ කරන ලද්දෙහිය, දෝෂයෙන් මිදෙනු පිණිස තැන තැන ඇවිද ඉගෙන ගනුව, ඉදින් නුඹ සමත් වෙහි නම් වාදයෙන් ගැළවෙව” යි මෙසේ වාදයෙහි යෙදී වෙසෙන්නාහ. මේ සසුනෙහි මහණ තෙම වාද කිරීමෙන් වැළකුණේය. ඒ වාදවිවාදයෙන් වැළකීම ඒ මහණහුගේ ශීලයය.

“යථා වා පනෙකෙ භොන්තෙ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං දුතෙය්‍යපහිණගමනානුයොගමනුයුත්තා විහරන්ති. සෙය්‍යථිදං? රඤ්ඤං රාජමහා මත්තානං ඛත්තියානං බ්‍රාහ්මණානං ගහපතිකානං කුමාරානං ඉධ ගච්ඡ අමුත්‍රාගච්ඡ ඉදං හර අමුත්‍ර‍දං ආහරති. ඉති වා ඉති එවරූපා දූතෙය්‍යපහිණගමනානුයොගමනුයුත්තා විහරන්ති. ඉති එවරූපා දුතෙය්‍යපහිණගමනානුයොගා පටිවිරතො හොති, ඉදම්පිස්ස හොති සීලස්මිං.”

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා, රජුන් විසින් රාජමහාමාත්‍යයන් විසින් ක්ෂත්‍රියයන් විසින් බ්‍රාහ්මණයන් විසින් ගැහැවියන් විසින් කුමරුන් විසින් “මෙයින් අසවල්තැනට යව, එතැනින් අසවල් තැනට එව, මෙතැනින් මෙය ගෙන යව, අසවල් තැනින් අසවල් දෙය මෙහි ගෙනව” යනාදීන් මෙහෙයන කල්හි ඔවුන්ගේ දූත මෙහෙවරෙහි යෙදෙති. මහණ තෙමේ මෙසේ දූතකම්හි යෙදීමෙන් වැළකුණේ වෙයි. ඒ දූතකම් කිරීමෙන් වැළකීම ඔහුගේ ශීලයය.

“යථා වා පනෙකෙ භොන්තෙ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ කුහකා ච හොන්ති ලපකා ච නෙමිත්තකා ච නිපේපෙසිකා ච ලාභෙන ලාභං නිජිගිංසිතාරො ච ඉති වා ඉති එවරූපා කුහනා ලපනා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.”

මජ්ඣිම සීලං

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා කුහකකම් කරන්නෝ ද වෙති. ලැබීම සඳහා සිත් ඇදෙන පරිදි කථා කරන්නෝ ද වෙති. ලැබීම සඳහා නිමිති පහළ කරන්නෝ ද වෙති. නො දෙන්නවුන් නින්දා කිරීමෙන් පෙළන්නෝ ද වෙති. ලාභයෙන් ලාභය සොයන්නෝ ද වෙති. මේ සස්නෙහි මහණ තෙමේ එබඳු කුහකකමින් ප්‍ර‍ත්‍යය පිළිබඳ කථාවෙන් වැළකුණේ වෙයි. එද ඒ මහණහුගේ ශීලයය. (මේ කුහනාදිය යට ආජීවපාරිශුද්ධිකථාවෙහි විස්තර කර ඇත. එය බලන්න.)

මේ මධ්‍යම ශීලය ය.

මහාශීලය.

යථා වා පනෙකෙ හොන්තෙ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා, තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්‍යථිදං? අංගං නිමිත්තං උප්පාදං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහොමං දබ්බිහොමං ථුසහොමං කණහොමං තණ්ඩුලහොමං සප්පිහොමං තෙලහොමං මුඛහොමං ලොහිතහොමං අංගවිජ්ජා වත්ථුවිජ්ජා ඛත්තවිජ්ජා සිවවිජ්ජා භූතවිජ්ජා භූරිවිජ්ජා අභිවිජ්ජා විසවිජ්ජා විච්ඡිකවිජ්ජා මූසිකවිජ්ජා සකුණවිජ්ජා වායසවිජ්ජා පක්ඛජ්ඣාං සරපරිත්තානං මිගවිජ්ජා ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා මෙබඳු තිරශ්චීනවිද්‍යාවෙන් මිථ්‍යාජීවයෙන් ජීවිකාව පවත්වති. ඔවුහු කවරහු ද යත්? අත්පා ආදියේ පිහිටි ලකුණු බලා පලාපල කියන අංගශාස්ත්‍ර‍ය, නිමිති බලා පලාපල කියන නිමිත්තශාස්ත්‍ර‍ය, අසනිපාතාදි මහත් කරුණු බලා පලාපල කියන උත්පාදශාස්ත්‍ර‍ය, ස්වප්න පලාපල කීමේ ශාස්ත්‍ර‍ය, මේ ලකුණෙන් යුක්ත වූයේ රජ වේය යනාදීන් ලකුණු වලින් පලාපල කීමේ ශාස්ත්‍ර‍ය, මීයන් කෑ වස්ත්‍ර‍ බලා පලාපල කීමේ ශාස්ත්‍ර‍ය, ඒ ඒ දේවල් සිදුවන පරිදි ගිනි පිදීමේ ශාස්ත්‍ර‍ය, මෙබඳු සැන්දක ගිනි පිදීමෙන් මෙබඳු පල ඇත්තේය යි කියන ශාස්ත්‍ර‍ය, වීපොතු වලින් ගිනිපිදීමේ ශාස්ත්‍ර‍ය, කුඩුවලින් ගිනිපිදීමේ ශාස්ත්‍ර‍ය, සහලින් ගිනි පිදීමේ ශාස්ත්‍ර‍ය, ගිතෙලින් ගිනිපිදීමේ ශාස්ත්‍ර‍ය, තෙලින් ගිනිපිදීමේ ශාස්ත්‍ර‍ය, අබ ආදිය මුවින් ගෙන ගින්නෙහි ලා පිදීමේ ශාස්ත්‍ර‍ය, ලේ පිදීමේ ශාස්ත්‍ර‍ය, ඇඟිලිඇට බලා පලාපල දක්වන අංගවිද්‍යාව, ගෘහවස්තු ආරාමවස්තූන් හි ගුණදෝෂ දක්වන වාස්තුවිද්‍යාව, අංගෙය්‍යමාසුරක්ඛාදීන් විසින් කර ඇති නීතිශාස්ත්‍ර‍ය, සොහොනෙහි සිට ශාන්ති කරන විද්‍යාවය, භූතවිද්‍යාව, කෙත්වල අස්වනු වැඩි කරන භූරිවිද්‍යාව, සර්පවිෂ බස්වන විද්‍යාව, විෂ නො වදින පරිදි ආරක්ෂා කරන විෂවිද්‍යාව, ගෝනුසු විෂ නැති කිරීමේ විද්‍යාව, මී විෂ නැසීමේ විද්‍යාව, පක්ෂීන්ගේ හා සිවුපාවුන්ගේ හඬින් හා ගමනින් පලාපල කීමේ විද්‍යාව, කපුටු හඬ තේරුම් ගැනීමේ විද්‍යාව, ජීවන කාලය දැනගන්නා විද්‍යාව, හී පහර වැළැක්වීමේ විද්‍යාව, මෘගපක්ෂීන්ගේ හඬ තේරුම් ගැනීමේ විද්‍යාව යන මොවුහු තිරශ්චීන විද්‍යාවෝය. මේ සසුනෙහි මහණතෙම ඒ තිරශ්චීන විද්‍යාවලින් ප්‍ර‍ත්‍යය සපයා ජීවත්වීම වූ මිථ්‍යාජීවයෙන් වැළකුණේ වෙයි. එය ඔහුගේ ශීලය ය.

යථා වා පනෙකෙ හොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්‍යථිදං? මණිලක්ඛනං වත්ථලක්ඛනං දණ්ඩලක්ඛනං අසිලක්ඛනං උසුලක්ඛනං ධනුලක්ඛනං ආවුධලක්ඛනං ඉත්ථිලක්ඛනං පුරිසලක්ඛනං කුමාරලක්ඛනං කුමාරිලක්ඛනං. දාසලක්ඛනං දාසිලක්ඛනං අස්සලක්ඛනං මහිසලක්ඛනං උසභලක්ඛනං ගොලක්ඛනං අජලක්ඛනං මෙණ්ඩකලක්ඛනං කුක්කුටලක්ඛනං වට්ටකලක්ඛනං ගොධාලක්ඛනං කණ්ණිකාලක්ඛනං කච්ඡපලක්ඛනං මිගලක්ඛනං ඉතිවා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති, ඉදම්පිස්ස හොති සීලස්මිං.

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා, මැණික්වලින් වන පලාපන පවසන මාණික්‍ය ලක්ෂණ විද්‍යාවය, වස්ත්‍ර‍යන්ගේ ගුණාගුණ දක්වන වස්ත්‍ර‍ලක්ෂණ විද්‍යාවය, මෙබඳු දණ්ඩක් දැරීමෙන් මෙබඳු පලාපන ඇත්තේය යි දඬුවල පලාපල පවසන දණ්ඩලක්ෂණ විද්‍යාවය, මෙබඳු කඩුවක් දැරීමෙන් මේ මේ පල ඇත්තේය යි කඩුවල පලාපල දක්වන අසිලක්ෂණ විද්‍යාවය, හී ආදියේ පලාපන දක්වන උසුලක්ෂණ ධනුලක්ෂණ ආයුධලක්ෂණ විද්‍යාය, මෙබඳු ස්ත්‍රියක වෙසෙන ගෙට මෙබඳු පලාපල ඇත්තේය මෙබඳු පුරුෂයකු වෙසෙන ගෙට මෙබඳු පලාපල ඇත්තේය යි දැක්වෙන ස්ත්‍රීලක්ෂණ පුරුෂලක්ෂණ, විද්‍යාය, කුමාරකුමාරී දාසිලක්ෂණය විද්‍යාය, අශ්වලක්ෂණ මහිෂලක්ෂණ වෘෂභලක්ෂණ ගවලක්ෂණ අජලක්ෂණ මෙණ්ඩකලක්ෂණ කුක්කුට ලක්ෂණ වට්ටකලක්ෂණ ගෝධාලක්ෂණ කර්ණිකාලක්ෂණ කච්ඡපලක්ෂණ මෘගලක්ෂණ විද්‍යාය යන මේ තිරශ්චීන විද්‍යාවලින් මිථ්‍යාජීවයෙන් ජීවිකාව කෙරෙති. මේ සස්නෙහි මහණතෙමේ තිරශ්චීන විද්‍යාවලින් මිථ්‍යාජීවයෙන් ජීවත්වීමෙන් වැළකුණේ වෙයි. ඒ මිථ්‍යාජීවයෙන් වැළකීම ඒ මහණහුගේ ශීලය ය.

යථා වා පනෙකෙ හොන්තෙ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජිවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්‍යථිදං? රඤ්ඤං නිය්‍යානං භවිස්සති රඤ්ඤං අනිය්‍යානං භවිස්සති අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති බාහිරානං රඤ්ඤං අපයානං භවිස්සති බාහිරානං රඤ්ඤං උපයානං භවිස්සති අබ්භන්තරානං රඤ්ඤං අපයානං භවිස්සති අබ්භන්තරානං රඤ්ඤං ජයො භවිස්සති බාහිරානං රඤ්ඤං පරාජයො භවිස්සති බාහිරානං රඤ්ඤං ජයො භවිස්සති අබ්භන්තරානං රඤ්ඤං පරාජයො භවිස්සති, ඉති ඉමස්ස ජයො භවිස්සති ඉමස්ස පරාජයො භවිස්සති. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරහොත හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා, අසවල් දින අසවල් නැකතින් අසවල් රජුගේ බැහැර යාම වන්නේය යනාදීන් රජුන්ගේ බැහැර යාම කලින් ප්‍ර‍කාශ කෙරෙති. එසේ ම ගිය රජුන්ගේ ආපසු ඊම ප්‍ර‍කාශ කෙරෙති, අපගේ රජු අසවල් දින සතුරු රජකු කරා යන්නේ ය යි ප්‍ර‍කාශ කරති, ගිය රජුගේ ආපසු පැමිණීම කලින් ප්‍ර‍කාශ කෙරෙති, බාහිර රජුන්ගේ පැමිණීම කලින් ප්‍ර‍කාශ කෙරෙති, බාහිර රජුන්ගේ බැහැරවීම කලින් ප්‍ර‍කාශ කරති, ආභ්‍යන්තරික රජුන්ට ජය වෙතැයි පවසති. බාහිර රජහු පරදිතියි පවසති, බාහිර රජුන්ට ජය වෙතැයි පවසති, ආභ්‍යන්තරික රජහු පරිදිතියි පවසති, මොහුට ජය වේය යි පවසති. මොහු පරදීය යි පවසති. මෙසේ ශාස්ත්‍ර‍ කියමින් තිරශ්චීන විද්‍යාවෙන් මිථ්‍යා ජීවයෙන් ජීවත් වෙති. මේ සසුනෙහි මහණ තෙමේ ඒ තිරශ්චීන විද්‍යාවෙන් ජීවත්වීමෙන් වැළකුණේ වෙයි. එය ද මේ මහණහුගේ ශීලය ය.

යථා වා පනෙකෙ හොන්තෙ සමණබ්‍රාහ්මනා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්‍යථිදං? චන්දග්ගාහො භවිස්සති සූරියග්ගාහො භවිස්සති නක්ඛත්තග්ගාහො භවිස්සති චන්දිමසුරියානං පථගමනං භවිස්සති චන්දිමසුරියානං උප්පථගමනං භවිස්සති නක්ඛත්තානං පථගමනං භවිස්සති නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති උක්කාපාතො භවිස්සති දිසාඩාහො භවිස්සති භූමිචාලො භවිස්සති දෙවදුන්දුහි භවිස්සති චන්දිමසුරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සංකිලෙසං වොදානං භවිස්සති එවං විපාකො චන්දග්ගාහො භවිස්සති එවං විපාකො සුරියග්ගාහො භවිස්සති එවං විපාකො නක්ඛත්තග්ගාහො භවිස්සති එවං විපාකං චන්දිමසුරියානං පථගමනං භවිස්සති එවං විපාකං නක්ඛත්තානං පථගමනං භවිස්සති එවං විපාකං නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති එවං විපාකො උක්කාපාතො භවිස්සති එවං විපාකො දිසාඩාහො භවිස්සති එවං විපාකො භූමිචාලො භවිස්සති එවං විපාකො දෙවදුන්භි භවිස්සති එවං විපාකං චන්දිමසුරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සංකිලෙසං වොදානං භවිස්සති ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරහො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා මෙබඳු තිරශ්චීන විද්‍යාවලින් ශාස්ත්‍ර‍ කියමින් මිථ්‍යාජීවයෙන් ජීවිකාව කෙරෙති. කෙසේද යත්? අසවල් දිනයෙහි චන්ද්‍ර‍ග්‍ර‍හණයෙක් වන්නේය. අසවල් දිනයෙහි සූර්‍ය්‍යග්‍ර‍හණයක් වන්නේය. අසවල් දිනයෙහි නක්ෂත්‍ර‍ග්‍ර‍හණයක් හෙවත් ග්‍ර‍හසංයෝගයක් වන්නේය, චන්ද්‍ර‍සූර්‍ය්‍යයන්ගේ නියම මාර්ගයේ ගමන් වන්නේය, චන්ද්‍ර‍සූර්‍ය්‍යයන්ගේ අමාර්ගයෙහි ගමන් වන්නේය, නක්ෂත්‍ර‍යන්ගේ නියම මඟ යාම වන්නේය, නක්ෂත්‍ර‍යන්ගේ නො මඟ යාම වන්නේය, උල්කාපාත වන්නේය, දිසාඩාහයක් වන්නේය, භූමිකම්පාවක් වන්නේය, අහසගිගිරුමක් වන්නේය, චන්ද්‍ර‍ සූර්‍ය්‍ය නක්ෂත්‍ර‍න්ගේ උදාවීම වන්නේය. අසත්වීමක් වන්නේය, කිලිටිවීමක් වන්නේය, මෙබඳු විපාක ඇති සූර්‍ය්‍යග්‍ර‍හණයක් වන්නේය, මෙබඳු විපාක ඇති නක්ෂත්‍ර‍ග්‍ර‍හණයක් වන්නේය, මෙබඳු විපාක ඇති චන්ද්‍ර‍සූර්‍ය්‍යයන්ගේ නියම මඟ යාමක් වන්නේය, මෙබඳු විපාක ඇති නක්ෂත්‍ර‍යන්ගේ නියම මඟ යාමක් වන්නේය, මෙබඳු විපාක ඇති නක්ෂත්‍රයන්ගේ නො මඟ යාමක් වන්නේය, මෙබඳු විපාක ඇති උල්කාපාතයක් වන්නේය, මෙබඳු විපාක ඇති දිසාඩාහයක් වන්නේ ය, මෙබඳු විපාක ඇති භූමිචලනයක් වන්නේ ය, මෙබඳු විපාක ඇති අහස ගිගිරුමක් වන්නේය, මෙබඳුවිපාක ඇති චන්ද්‍ර‍සූර්‍ය්‍යනක්ෂත්‍ර‍යන්ගේ උදාවීමක් අස්තවීමක් කිලිටිවීමක් බැබළීමක් වන්නේ ය. මෙසේ ශාස්ත්‍ර‍ කියමින් මිථ්‍යාජීවයෙන් ජීවත් වන්නාහ. මේ සසුනෙහි මහණ තෙමේ තිරශ්චීන විද්‍යාවෙන් මිථ්‍යාජීවයෙන් වැළකුණේ වෙයි. එය ද ඒ මහණහුගේ ශීලය ය.

යථා වා පනෙකෙ භොන්තෙ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජජාය මිච්ඡාජිවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්‍යථිදං? සුබ්බුට්ඨිකා භවිස්සති දුබ්බුට්ඨිකා භවිස්සති දුබ්භික්ඛං භවිස්සති ඛෙමං භවිස්සති භයං භවිස්සති රොගො භවිස්සති ආරොග්‍යං භවිස්සති මුද්දා ගණනා සංඛානං කාවෙය්‍යං ලොකායතං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා, මෙබඳු තිරශ්චීන විද්‍යාවෙන් මිථ්‍යා ජීවයෙන් ජීවිකාව කෙරෙත්. කෙසේ ද යත්? නැකැත් බලා මැනවින් වැසි ඇති වන්නේ ය යි කලින් කියති. වැසි මඳ වන්නේ ය යි කියති. දුර්භික්ෂ වන්නේය සුභික්ෂ වන්නේය, භය නැති වන්නේය, භය ඇති වන්නේය, රෝග හටගන්නේය, රෝග දුරුවන්නේය යි කලින් කියති. ඇඟිලි සලකුණෙන් ගිණීමය, දිගට ම ගණන් කිරීමය, සමූහ වශයෙන් ගණන් ගැනීමය, කාව්‍යය ලෝකායතශාස්ත්‍ර‍ය යන මේවායින් කටයුතු කිරීමය යන මේ ක්‍ර‍මවලින් මිථ්‍යාජීවයෙන් ජීවිකාව කෙරෙති. මේ සසුනෙහි මහණ එසේ තිරශ්චීන විද්‍යාවෙන් මිථ්‍යාජීවයෙන් ජීවිකාව කිරීමෙන් වැළකුණේ වෙයි. එය ද ඒ මහණහුගේ ශීලයය.්‍

යථා වා පනෙකෙ භොන්තෙ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්‍යථිදං? ආවාහනං විවාහනං සංවදනං විවාදනං සංකිරණං විකිරණං සුභගකරණං දුබ්භගකරණං විරුද්ධගම්භකරණං ජිව්හානිත්ථද්ධනං හනුසංහනනං හත්ථාභිජප්පනං හනුජප්පනං කණ්ණජප්පනං ආදායපඤ්හං කුමාරීපඤ්හං දේවපච්හං ආදිච්චුපට්ඨානං මහතුපට්ඨානං අබ්භුජ්ජලනං සිරිව්හායනං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති, ඉදම්පිස්ස හොති සීලස්මිං.

ඇතැම් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා ආවාහයට නැකැත් කියති. විවාහයට නැකැත් කියති. බිඳී සිටින අඹුසැමියන්ට එක්වීමට නැකැත් කියති. වෙන්වනු රිසි අඹුසැමියන්ට වෙන්වීමට නැකැත් කියති. පොලියට ණයට දුන් ධනය ගැනීමට නැකැත් කියති. පොලියට ණයට දීමට නැකැත් කියති. ශ්‍රියාව ඇතිවීමට ගුරුකම් කරති. කාලකණ්ණි වීමට ගුරුකම් කරති. ගැබ් පිහිටීමට බෙහෙත් යොදති. දිව තද කිරීමට ගුරුකම් කරති. හකු තද වීමට ගුරුකම් කරති. කන් බිහිරි වීමට ගුරුකම් කරති. කණ්ණාඩියට දෙවියන් පමුණුවා ප්‍ර‍ශ්න විචාරති. කුමාරිකාවන්ට දෙවියන් ආරූඩ කරවා ප්‍ර‍ශ්න විචාරති. දේවදාසීන්ට දෙවියන් ආරූඩ කරවා ප්‍ර‍ශ්න විචාරති. ජීවිකාව පිණිස හිරු පුදති. මහබඹු පුදති. මන්ත්‍ර‍ ජප කොට මුඛයෙන් ගිනි පිට කෙරෙති. ශ්‍රී දේවිය කැඳවති. මේ ශාසනයෙහි මහණ තෙමේ එබඳු තිරශ්චීනවිද්‍යාවෙන් මිථ්‍යාජීවයෙන් දිවි පැවැත්වීමෙන් වැළකුණේ වෙයි. එය ද ඒ මහණහුගේ ශීලයය.

යථා වා පනෙක හොන්තෙ සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවකං කප්පෙන්ති. සෙය්‍යථිදං? සන්තිකම්මං පණිධිකම්මං භූතකම්මං භූරිකම්මං වස්සකම්මං වොස්සකම්මං වත්ථුකම්මං වත්ථුපරිකිරණං ආචමනං නහාපනං ජුහනං වමනං විරෙචනං උද්ධවිරෙචනං අධොවිරෙචනං සීසවිරෙචනං කණ්ණතෙලං නෙත්තතප්පනං නත්ථුකම්මං අඤ්ජනං පච්චඤ්ජනං සාලාකියං සල්ලකත්තියං දාරකතිකිච්ඡා මූලභෙසජ්ජානං අනුප්පාදානං ඔසධීනං පටිමොක්ඛො ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති, ඉදම්පිස්ස හොති සීලස්මිං.

ඇතැම් පින්වත් ශ්‍ර‍මණබ්‍රාහ්මණයෝ සැදැහැයෙන් දෙන බොජුන් වළඳා දෙවියන්ට බාරවීම් වශයෙන් ශාන්තිකර්ම කිරීම, ශාන්තිය ලැබීමෙන් පසු බාර ඔප්පු කිරීමය, භූතකර්මය, බිම්ගෙවල වෙසෙමින් පාඩම් කළ යන්ත්‍ර‍ යෙදීමය, පණ්ඩකයන් පුරුෂයන් කිරීමය, පුරුෂයන් පණ්ඩකයන් කිරීමය, ශාස්ත්‍රානුකූලව ගෙවල් තැනීමය, බිම්දොස් නසනු පිණිස පූජා පැවැත්වීමය, මන්ත්‍ර‍ ජලයෙන් මුව පිරිසිදු කිරීමය, මන්ත්‍ර‍ ජලයෙන් නැහැවීමය, ගිනි පිදීමය, වමනය කරවීමය, විරේචනය කරවීමය, ළය විරේක කරවීමය, අධෝවිරේචන කරවීමය, ශීර්ෂ විරේචන කරවීමය, කන් රෝගවලට තෙල් පිළියෙළ කිරීමය, ඇස්වලට බෙහෙත් කිරීමය, නස්‍ය කිරීමය, ඇස්වල පටල කපන අඳුන් පිළියෙළ කිරීමය, ඇස වැඩෙන සිසිල් බෙහෙත් පිළියෙළ කිරීමය, කටු ගසා ඇසට පිළියම් කිරීමය, ඇසෙහි සැත්කම් කිරීමය, ළදරුවන්ට පිළියම් කිරීමය, සර්වාංගයට ම වෙදකම් කිරීමය, බෙහෙත් සැර නැසීමට පිළියම් කිරීමය යන මේවායින් මිථ්‍යාජීවයෙන් ජීවත් වෙති. මේ සසුනෙහි මහණ තෙම එබඳු තිරශ්චීන විද්‍යාවෙන් මිථ්‍යාජීවයෙන් ජීවත්වීමෙන් වැළකුණේ වෙයි. එද ඒ මහණහුගේ ශීලය ය.

අථ ඛො සො මහාරාජ භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො. සෙය්‍යථාපි මහාරාජ ඛත්තියො මුද්ධාභිසිත්තො නිහතපච්චත්ථිකො න කුතොචි භයං සමනුපස්සති යදිදං පච්චත්ථිකතො, එවමෙව ඛො මහාරාජ භික්ඛු සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති. එවං ඛො මහාරාජ භික්ඛු සීලසම්පන්නො හොති.

මහාසීලං

මහරජ, මේ ආර්‍ය්‍ය ශීලස්කන්ධයෙන් යුක්ත වන මහණ තෙමේ ශීලසංවරය හේතු කොට කිසි තැනකින් භයක් නො දකී. මහරජ යම්සේ මුදුනෙහි අභිෂේක කරන ලද නැසූ සතුරන් ඇති ක්ෂත්‍රිය තෙමේ කිසි තැනකින් සතුරන් හේතු කොට භයක් නො දක්නේ ද මහරජ, එපරිද්දෙන් ශීලයෙන් යුක්ත වන මහණ තෙමේ ශීලසංවරය හේතු කොට කිසිතැනකින් බියක් නො දක්නේය. හෙතෙමේ මේ ආර්‍ය්‍යශීලස්කන්ධයෙන් යුක්ත වූයේ ස්වසන්තානයෙහි නිරවද්‍ය සුඛය විඳී. මහරජ මෙසේ මහණ ශීලයෙන් යුක්ත වූයේ වේ.

මහාශීලයයි.

චූළසීල මජ්ඣිමසීල මහාසීල යන මේ විභාගය ධර්ම පිළිබඳ විභාගයක් නො ව පාළිය පිළිබඳ විභාගයකි. සසර දුකින් මිදෙනු පිණිස සැදැහැයෙන් බුදුසස්නෙහි පැවිදි වී සිටින සත්පුරුෂයෝ තමන්ට හිමි තමන් විසින් රැකිය යුතු ශීලය උගෙන එහි මැනවින් පිහිටා ශක්තිපමණින් බුදුවදන් ද උගෙන රථවිනීතපටිපදා මහාගොසිංගපටිපදා, මහාසුඤ්ඤතපටිපදා අනංගණපටිපදා ධම්මදායාදපටිපදා නාලකපටිපදා චන්දෝපමපටිපදා යන මේ ප්‍ර‍තිපදාවන් ද යථාශක්තියෙන් පුරමින් සමථවිදර්ශනාවන්හි යෙදී තමතමන්ගේ ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව සාර්ථක කර ගනිත්වා.

මහාකාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නෛර්‍ය්‍යාණික ශාසනයෙහි ගිහිගෙය හැර සසර දුකින් මිදීම සඳහා පැවිදිව උපසම්පාදව ලැබූ ශික්ෂාකාමීන්ට මඟ දක්වනු වස් රේරුකානේ චන්දවිමල මහාස්ථවිර නමැති අප විසින් ආරම්භ කරන ලද උපසම්පදාශීලය නමැති විනය ග්‍ර‍න්ථය මෙතෙකින් නිමියේය.

  1. සාරත්ථ - 3 – 182 පි.

  2. මහා - 196 පි.

  3. මහා - 196 පි.

  4. පාරා - 24 පි.

  5. පාරා - 31 පි.

  6. පාරා - 38 පි.

  7. පාරා - 39 පි.

  8. පාරා - 39 පි.

  9. පාරා - 41 පි.

  10. පාරා - 41 පි.

  11. පාරා - 43 පි.

  12. පාරා - 49 පි.

  13. විමති - 143 පි.

  14. පාතිමාක්ඛපදත්ථානුවණ්ණනා - බුරුමපොත - 89 පි.

  15. ස.පා. – 218 පි.

  16. පාරා - 55 පි.

  17. විනයත්ථමඤ්ජුසා - 72 පි - යූ. පී. ඒකනායක.

  18. ස.පා. – 219 පි.

  19. ස.පා. – 219 පි.

  20. ස.පා - 220 පි.

  21. ස.පා. – 284 පි.

  22. පාරා - 61 පි.

  23. පාරා - 61 පි.

  24. පාරා - 63 පි.

  25. පාරා - 64 පි.

  26. පාරා - 65 පි.

  27. පාරා - 67 පි.

  28. පාරා - 67 පි.

  29. පාරා - 68 පි.

  30. පාරා - 69 පි.

  31. පාරා - 69 පි.

  32. පාරා - 71 පි.

  33. පාරා. - පත්ත වග්ග - 307 පි.

  34. පාරා - 307 පි.

  35. පාචි - සහධම්මික වග්ග= 176 පි.

  36. පාචි. - සුරාපාන වග්ග - 140 පි.

  37. පාරා - පත්තවග්ග - 297 පි.

  38. පාරා. – 78 පි.

  39. ස.පා. – 314 පි.

  40. ස.පා. – 319 පි.

  41. පාරා - 80 පි.

  42. සා. පා. – 325 පි.

  43. පාරා - 87 පි.

  44. ස. පා - 334 පි.

  45. පාරා - 84 පි.

  46. පාරා - 87 පි.

  47. පාරා - 87 පි.

  48. ස.පා. – 334 පි.

  49. පාරා - 97 පි.

  50. පාචි - 35 පි.

  51. පාරා - 114 පි.

  52. පාරා - 114 පි.

  53. පාරා - 96 පි.

  54. පාරා - 125 පි.

  55. ස.පා. – 369 පි.

  56. පාරා - 136 පි.

  57. පාරා - 139 පි.

  58. පාරා - 150 පි.

  59. පාරා - 162 පි.

  60. මහා 212 පි.

  61. විනය - 150 පි. (පස්වන මුද්‍ර‍ණය - 134 පි.)

  62. විනය - 82 පි. (පස්වන මුද්‍ර‍ණය - 65 පි.)

  63. මහා 126 පි.

  64. මහා - 222 පි.

  65. චූල - 194 පි.

  66. චූල - 194, 196, 197 පිටු

  67. පාරා - 283 පි.

  68. චූල - 195 පි.

  69. චූල - 196 පි.

  70. චූල - 196 පි.

  71. චූල - 197 පි.

  72. පාරා - 284 පි.

  73. පාරා - 284 පි.

  74. ඛුද්ද - 72 ගාථාව.

  75. පාරා - 287 පි.

  76. මහා - 198 පි.

  77. මහා - 742 පි.

  78. ශාසන - 104 පි. (7 මුද්‍ර‍ණය - 82)

  79. මහා - 742 පි.

  80. ශාසන = 98 පි. (7 මුද්‍ර‍ණය - 78 පි.)

  81. පාචි - 194 පි.

  82. ස.පා. – 407 පි.

  83. මහා - 726 පි.

  84. මහා - 726 පි.

  85. මහා - 708 පි.

  86. මහා - 708 පි.

  87. මහා - 726 පි.

  88. පාරා - 237 පි.

  89. පාරා - 239 පි.

  90. විනය - 274 පි.

  91. අභිධානප්පදීපිකා - 65 ගාථාව

  92. පාරා - 244 පි.

  93. පාරා - 303 පි.

  94. පාරා - 252 පි.

  95. පාරා - 254 පි.

  96. පාරා - 256 පි.

  97. පාරා - 257 පි.

  98. පාරා - 259 පි.

  99. පාචි - 138 පි.

  100. මහා - 728 පි.

  101. චූල - 216 පි.

  102. චූල - 211 පි.

  103. ස.පා. 894 පි.

  104. මහා - 486 පි.

  105. මහා - 507 පි.

  106. මහා - 492 පි.

  107. මහා - 492 පි.

  108. මහා - 507 පි.

  109. මහා - 507 පි.

  110. මහා - 492 පි.

  111. මහා - 514 පි.

  112. මහා - 488 පි.

  113. මහා - 488 පි.

  114. මහා - 490 පි.

  115. මහා - 498 පි.

  116. මහා - 504 පි.

  117. මහා - 504 පි.

  118. මහා - 514 පි.

  119. මහා - 502 පි.

  120. පාචි - 189 පි.

  121. චූල - 243 පි.

  122. චූල - 189 පි.

  123. චූල - 190 පි.

  124. චූල - 214 පි.

  125. උදාන අටුවා - හේ. වි. සං - 221 පි.

  126. වි.විනි - 2801 ගාථාව.

  127. චූල - 214 පි.

  128. චූල - 190 පි.

  129. චූල - 190 පි.

  130. චූල - 215 පි.

  131. චූල - 214 පි.

  132. චූල - 215 පි.

  133. චූල - 190 පි.

  134. චූල - 190 පි.

  135. පාචි - 140 පි.

  136. මහා - 514 පි.

  137. චූල - 188 පි.

  138. චූල - 188 පි.

  139. චූල - 189 පි.

  140. පාචී - 107 පි.

  141. පාචි - 107 පි.

  142. මහා - 534 පි.

  143. මහා - 544 පි.

  144. විනය - 261 පි. (5 මුද්‍ර‍ණය - 151 පි.)

  145. විනය - 262 පි. (5 මුද්‍ර‍ණය - 154 පි.)

  146. මහා - 614 පි.

  147. මහා - 614 පි.

  148. මහා - 614 පි.

  149. පාචි - 102 පි.

  150. *1996 දී පැය භාගයකින් ඔරලෝසු වේලාව ඉදිරියට ගෙනවුත් ඇති බැවින් සාමාන්‍යයෙන් 12.30 දක්වා දානය සඳහා වේලාව ඇති බවත් 12.15 ට අවසන් කිරීම වඩා සුදුසු බවත් ඉහත ඡේදයට අනුව සැළකිය හැකිය. - ලේකම්.

  151. පාචි - 102 පි.

  152. පාචි - 102 පි.

  153. පාචි - 103 පි.

  154. පාරා - 293 පි.

  155. පාරා - 293 පි.

  156. පාරා - 294 පි.

  157. පාචි - 105 පි.

  158. පාචි - 217 පි.

  159. පාචි - 98 පි.

  160. ස.පා. 610 පි.

  161. පාචි - 120 පි.

  162. ශාසන - 107 පි. (7 මුද්‍ර‍ණය - 85 පි.)

  163. මහා - 594 පි.

  164. ස.පා. – 436 පි.

  165. මහා - 556 පි.

  166. මහා - 558, 560 පිටු.

  167. පාචි - 26 පි.

  168. පාචි - 29 පි.

  169. පාරා - 42 පි.

  170. පරිවා - 159 පි.

  171. චූල - 205 පි.

  172. චූල - 248 පි.

  173. චූල - 248 පි.

  174. චූල - 248 පි.

  175. චූල - 248 පි.

  176. පාරා 84 පි.

  177. චූල - 298 පි.

  178. චූල - 215 පි.

  179. පාචි - 113 පි.

  180. පාචි - 114 පි.

  181. ශාසන - 114 පි. (7 මුද්‍ර‍ණය - 90 පි.)

  182. පාචි - 186 පි.

  183. පාචි - 150 පි.

  184. පාචි - 122 පි.

  185. පාචි - 124 පි.

  186. පාචි - 125 පි.

  187. චූල - 190 පි.

  188. ඛුද්ද - 145 පි.

  189. පාචි - 331 පි.

  190. චූල - 216 පි.

  191. ශාසන - 114 පි. (7 මුද්‍ර‍ණය - 90 පි.)

  192. පාචි - 2 පි.

  193. පාචි - 8 පි.

  194. පාචි - 20 පි.

  195. පාචි - 44 පි.

  196. දී. නි. - මහා පරිනිර්වාණ සූ.

  197. බුද්ධවංසට්ඨකථා - හේ. වි. සං. – 17 පි.

  198. අංගුත්තර නිකාය - පඤ්චකනිපාත.

  199. චූල - 191 පි.

  200. චූල - 191 පි.

  201. සාර්ථි - 3,381 පි.

  202. මහා - 272 පි.

  203. පාචි - 24 පි.

  204. පාචි - 32 පි.

  205. චූල - 241 පි.

  206. චූල - 242 පි.

  207. පරිවා - 260 පි.

  208. පරිවා - 251 පි.

  209. පරිවා - 251 පි.

  210. පරිවා - 251 පි.

  211. පරිවා - 252 පි.

  212. ස.පා. – 757 පි.

  213. පාචි - 63 පි.

  214. චූල - 200 පි.

  215. පාළි මුත්තක විනය විනිශ්චය - දෙහිගස්පේ පඤ්ඤාසාර සංශෝධනය - 400 පි.

  216. පාචි - 142 පි.

  217. පාචි - 46 පි.

  218. පාචි - 46 පි.

  219. පාචි - 47 පි.

  220. පාචි - 84 පි.

  221. පාචි - 48 පි.

  222. චූල - 192 පි.

  223. මහා - 128 පි.

  224. මහා - 130 පි.

  225. මහා - 154 පි.

  226. වි. විනි - 1140 – 1142 දක්වා ගාථා.

  227. මහා - 94 පි.

  228. මහා - 114 පි.

  229. ශාසන - 126 පි.

  230. ශාසන - 131 පි. (7 මුද්‍ර‍ණය - 103 පි.)

  231. මහා - 106 පි.

  232. මහා - 116 පි.

  233. මහා - 116 පි.

  234. මහා - 196 පි.

  235. මහා සද්දනීති

  236. වි. විනි - 1136 – 1139 දක්වා ගාථා.

  237. මහා - 154 පි.

  238. මහා - 152 පි.

  239. මහා - 228 පි.

  240. මහා - 228 පි.

  241. පරිවා - 196 පි.

  242. මහා - 734 පි.

  243. ස.පා. – 839 පි.

  244. මහා - 740 පි.

  245. ස.පා. – 953 පි.

  246. ඛුද්ද - 153 පි.

  247. චූල - 249 පි.

  248. චූල - 249 පි.

  249. චූල - 249 පි.

  250. ස.පා. – 913 පි.

  251. ස.පා. – 915 පි.

  252. මහා - 726 පි.

  253. මහා - 726 පි.

  254. ස.පා. – 338 පි.

  255. පාචි - 55 පි.

  256. චූල - 254 පි.

  257. ස.පා. – 921 පි.

  258. චූල - 254 පි.

  259. ස.පා. – 922 පි.

  260. පාරා - 277 පි.

  261. පාරා - 278 පි.

  262. පාරා - 278 පි.

  263. පාරා - 279 පි.

  264. පාචි - 138 පි.

  265. පාරා - 279 පි.

  266. පාරා - 280 පි.

  267. පාරා - 282 පි.

  268. ස.පා. – 388 පි.

  269. ඛුද්ද - 129 පි.

  270. වි.විනි. – 349 ගාථාව.

  271. මහා - 610 පි.

  272. ස.පා. – 499 පි.

  273. දීඝනිකාය මුල් සූත්‍ර‍.

  274. පාචි - 248 පි.

  275. පාචි - 249 පි.

  276. පාරා - 52 පි.

  277. ස.පා. – 677 පි.

  278. සාරත්ථ - 3 -116 පි.

  279. විමති - 348 පි.

  280. ම. ට්ඨ - 1 – 143 පි.

  281. ස.පා. – 502 පි.

  282. ස.පා - 335 පි.

  283. ස.පා. – 335 පි.

  284. ස.පා. – 336 පි.

  285. ස.පා. – 336 පි.

  286. දී. ට්ඨ - 706 පි.

  287. ස.පා. – 337 පි.

  288. දී.ට්ඨ - 707 පි.

  289. මහා - 274 පි.

  290. පරිවා. 232 පි.

  291. පාරිවා - 231 පි.

  292. පරවා - 231 පි.

  293. පාරා - 200 පි.

  294. පාරා - 206 පි.

  295. පාචි - 168 පි.

  296. පාචි - 57 පි.

  297. පාචි - 59 පි.

  298. පාචි - 128 පි.

  299. පාචි - 130 පි.

  300. පාචි - 132 පි.

  301. පාචි - 166 පි.

  302. පාචි - 167 පි.

  303. පාචි - 169 පි.

  304. පාචි - 171 පි.

  305. පාචි - 172 පි.

  306. පාචි - 173 පි.

  307. පාචි - 174 පි.

  308. පාරා - 213 පි.

  309. පාරා - 215 පි.

  310. පාචි - 153 පි.

  311. විනය - 250 පි. (5 මුද්‍ර‍ණය - 199 පි.)

  312. පාචි - 155 පි.

  313. පාචි - 158 පි.

  314. පාචි - 163 පි.

  315. පාරා - 218 පි.

  316. මහා පරිනිර්වාණ සූ.

  317. මහා පරිනිර්වාණ සූ.

  318. ස.පා. – 1046 පි.

  319. ස.පා. – 1046 පි.

  320. පාචි - 127 පි.

  321. ස.පා. 635 පි.

  322. සාරත්ථ - 3, 79 පි.

  323. විමති - 328 පි.

  324. පාචි - 128 පි.

  325. මහා - 624 පි.

  326. ශාසන - 148, 150 පිටු. (7 මුද්‍ර‍ණය - 116 – 118 පිටු)

  327. පරිවා - 127 පි.

  328. විභ. – 261 පි.

  329. විභ - 261 පි.

  330. විභ - 262 පි.

  331. විහ - 262 පි.

  332. විභ - 262 පි.

  333. ජා. ට්ඨ - 59 පි.

  334. ම. ට්ඨ - 3-3,4 පිටු

  335. දීඝනිකායේ මුල් සූත්‍ර‍.

  336. ස.පා. – 617 පි.

  337. සං. ට්ඨ. – 65 පි.