සූවිසි මහ ගුණය
රේරුකානේ චන්දවිමල හිමි
පටුන
පටුන


සූවිසි මහ ගුණය

(නම වන මුද්‍රණය)

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.

2549/2005

ප්‍රස්තාවනා

අරහං සම්මාසම්බුද්ධො යනාදීන් දැක්වෙන ගුණ නවයක් බුද්ධරත්නයෙහි ඇත්තේ ය. ස්වාක්ඛාතො භගවතා ධම්මො යනාදීන් දැක්වෙන ගුණ සයක් ධර්මරත්නයෙහි ඇත්තේ ය. සුපටිපන්නො භගවතො සාවක සංඝො යන ආදි දැක්වෙන ගුණ නවයක් සංඝරත්නයෙහි ඇත්තේ ය. සියල්ල එකතු කළ කල්හි තෙරුවන් ගුණ සූවිස්සක් වේ. එයට “සූවිසි මහා ගුණය” යි කියනු ලැබේ. ඒ ගුණ සූවිස්ස විස්තර කරන මේ ග්‍රන්ථයට ද සූවිසි මහ ගුණය යන නම ම තබන ලදී.

බෞද්ධ වූ සැමදෙනා විසින් ම තෙරුවන් හොඳින් හැඳින ගෙන සිටිය යුතුය. තෙරුවන් නො හඳුනන බෞද්ධයාට ඇත්තේ බෞද්ධ නාමය පමණෙකි. තෙරුවන් හැඳින ගත යුත්තේ මේ ගුණ සූවිස්සෙනි. මේ ගුණ සූවිස්ස දැන ගැනීම හැර තෙරුවන් හැඳින ගැනීමට අන් කළ යුත්තක් නැත. තෙරුවන් හැඳින ගැනීමේ අනුසස් බොහෝය. මේ ගුණ සූවිස්ස දැන මැනවින් තෙරුවන් හැඳින ගත් තැනැත්තාට කිසි කලෙක වෙනස් නොවන, කිසිවකු විසින් කිනම් උපායකිනුදු වෙනස් කළ නො හෙන අචල ප්‍රසාදයක් තුනුරුවන් කෙරෙහි ඇති වේ. එයින් ඔහු පව්කම් වලින් වැළකී බෝධිපාක්ෂික ධර්මයන් වඩන පුද්ගලයකු වී මඳ කලකින් ම නිවන් දැක සියලු දුක් කෙළවර කරගන්නෙක් වන්නේය. තුනුරුවන් නො හඳුනන පුද්ගල තෙමේ කුශලයෙන් දුරුව පස්කම්හි හා පව්කම්හි ඇලී ගැලී සිටි දුකින් දුකට ම පත් වන්නේ ය. දුර්ලභ බුඞෝත්පාදකාලය ලැබීමෙන් මිනිසත්බව ලැබීමෙන් ගත හැකි උසස් ප්‍රයෝජනයක් නො ලබන්නේය. තෙරුවන් පිහිට නො ලබා මේ සත්ත්වයනට ජාති-ජරා-මරණා දී දුක්වලින් හා අපා දුකින් නො මිදිය හැකි ය. දුකින් මිදීමට ඇති එකම පිහිට, නො වරදින පිහිට තෙරුවන් පිහිටය. තෙරුවන් නො හඳුනන්නවුන්ට එය නො ලැබිය හැකිය. එබැවින් දුකින් මිදී නිවන් සුව ලබනු කැමැති ගිහි - පැවිදි, ස්ත්‍රී - පුරුෂ සැමදෙනා විසින් ම යටත් පිරිසෙයින් එක් එක් රත්නයක ගුණවලින් එක් එක් ගුණය බැගින් වත් හොඳින් දැන සිටිය යුතුය.

තෙරුවන් ගුණ සූවිස්ස සම්බන්ධයෙන් දත යුතු කරුණු සූත්‍රාභිධර්මවිනය සංඛයාත පිටකත්‍රයෙහි හා අටුවා ටීකාවල විසිර පවතිනවා මිස එක් තැනක නැත. එබැවින් ඒවා සොයා බලා තේරුම් ගෙන තෙරුවන් ගුණ තේරුම් ගැනීම නූගතකුට තබා මහාපඬිවරයකුට ද පහසු කාර්‍ය්‍යක් නො වේ. තෙරුවන් ගුණ බෞද්ධ කාහටත් පහසුවෙන් දත හැකි වීම පිණිස පිටකත්‍රයෙහි හා තවත් ග්‍රන්ථවල විසිරී පවත්නා ඒ කරුණු එක්තැන් කොට තෙරුවන් ගුණ විස්තර කරන ග්‍රන්ථයක් තිබිය යුතුය. තෙරුවන් ගුණවලින් යම් කිසි එක් ගුණයක් ගෙන එපමණක් විස්තර කර ඇති සිංහල බණපොත් කීපයක් ඇති නමුත් සූවිසි ගුණය ම පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි විස්තර කර ඇති පොතක් සිංහල සාහිත්‍යට නැති බව දුටු අපගේ සිත සූවිසි මහ ගුණය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමෙහි නැමිණ. තෙරුවන් ගුණ උගත් නූගත් සැමදෙනා විසින් ම දත යුතු බැවින් මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමෙහි දී වැඩි දෙනකුන් දන්නා සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරයෙහි පවතින ප්‍රසිද්ධ වචන හැකිතාක් යොදන ලදී. එබැවින් මෙය කියවා කාහටත් පහසුවෙන් දහම්රසය විඳිය හැකිවනු ඇත. මේ ග්‍රන්ථය තේරුම් ගැනීමට ගැටපද විවරණ සන්න ටීකා වුවමනා නොවනු ඇත.

තෙරුවන් ගුණ ඉතා ගැඹුරුය. ඒවායින් බොහෝවක්ම සාමාන්‍ය ලෝකස්වභාව ඉක්මවා පවතින, අපේ දුබල නුවණට හසු කර ගත නො හෙන, බුද්ධාදි ආර්‍ය්‍යයන්ට ම විෂය කරුණුය. ඒවා සාමාන්‍ය ලෝක තත්ත්වය අනුව හෝ නවීන ප්‍රවීණ විද්‍යාශාස්ත්‍ර අනුව හෝ මණින්නට විවේචනය කරන්නට නොයා යුතුය. මෙකල ඇතැම් උගත්තු තමන් දන්නා දේ අනුව විවේචනය කොට තුනුරුවන් ගැන ද නොයෙක් අදහස් පහළ කෙරෙති. ඇතැම්හු විවේචනය කරමුය, කියා තමන්ට අවිෂය කරුණු ගැන මොක මොකවත් බොරු රැසක් ඇදබා මහ වැඩක් කෙළෙමු”යි තමන් ගැන උදම් වෙති. එය තමන්ගේ මෝඩකමේ ම එක් අංගයක් බව ඒ භවත්හු නො දනිති. විවේචනය වනාහි මෝඩකම වැඩි තරමටම වඩ වඩා කළ හැකි කාර්‍ය්‍යයෙකි. එබැවින් තෙරුවන් පිළිබඳව ඇති නවීන උගතුන්ගේ ප්‍රශ්න කිසිවක් මේ ග්‍රන්ථයට ඇතුළත් නො කරන ලදී. අප විසින් අමුතුවෙන් සිතා ද මේ ග්‍රන්ථයට කිසිවක් ඇතුළු නො කරන ලදී. මෙය සම්පාදනය කර ඇත්තේ, පිටකත්‍රයෙන් හා අටුවාවලිනුත් තවත් සැලකිය යුතු දහම් පොත් වලිනුන් ගන්නා ලද කරුණු අනුවය. ඒ ඒ කරුණු ගත් තැන් ද පොතෙහි ඒ ඒ තැන්වල සඳහන් කර ඇත. අප විසින් මේ ග්‍රන්ථය ලියන ලදුයේ තවත් නොයෙක් කටයුතු වල යෙදී ඉන්නා අතරම ය. විවේක මඳ බව නිසා මෙය ලියා සම්පූර්ණ කිරීමට දොළොස් මසක් පමණ ගත විය. කල් ගත කොට කඩින් කඩ පොත ලියන කල්හි කලින් ලියූ කරුණු අමතක වේ. එබැවින් මෙහි ඇතැම් තැනක වරක් ලියූ කරුණු නැවතත් ඇතුළු වී තිබෙන්නට බැරි නැත. එසේ තිබීම ග්‍රන්ථ දෝෂයක් වුව ද කියවන්නවුන්ට එයින් ලාභයක් මිස හානියක් නො වනු ඇත.

බෞද්ධයන් තමන්ට පරලොවට පිහිට පිණිසත්, මිය ගිය ඥාතීන්ට සැප සලසනු පිණිසත්, මිය ගිය ඥාතීන් ප්‍රේතත්වයෙන් ගොඩනඟනු පිණිසත්, බෙහෙවින් කරන්නේ සඟරුවනට පිදීමය. උසස් ඵල ගෙන දෙන ඥානසම්ප්‍රයුක්ත කුශලයන් වන පරිදි ඒ පින්කම් කළ හැකි වන්නේ සංඝගුණයන් දැන, සංඝරත්නය හැඳින සංඝරත්නයෙහි පැහැදීමක් ඇතිව සිටිය හොත්ය. එබැවින් මෙහි සංඝරත්න ගුණ විස්තරය සැමදෙනා විසින් ම විශේෂයෙන් කියවා තේරුම් ගත යුතුය.

බෞද්ධයන් අතර පවත්නා ප්‍රශ්නවලින් බොහෝවක් සංඝරත්නය හා එහි ගුණ පිළිබඳව ය. සංඝරත්නය පිළිබඳ විසඳීමට දුෂ්කර නොයෙක් ප්‍රශ්ණ ඇත්තේය. පිටකත්‍රයෙහි සඟරුවනේ ගුණ පිළිබඳව කරුණු ඇත්තේ ද ස්වල්ප වශයෙනි. එබැවින් සඟරුවන පිළිබඳ විස්තර ලිවීමට අපට බොහෝ වෙහෙසෙන්නට සිදු විය. පිටකත්‍රයෙන් කරුණු උපුටා දක්වා හැකිතාක් දුරට කරුණු නිරවුල් කර සංඝගුණය ද මෙහි විස්තර කර ඇත. එය කියවීම උගතුන්ට ද බොහෝ ප්‍රයෝජන වනු ඇත.

මීට

ශාසනස්ථිතිකාමී,

රේරුකානේ චන්දවිමල මහාස්ථවිර

2508 (1964) සැප්තැම්බර් 20 වෙනි දින

පොකුණුවිට විනයාලංකාරාරාමයේදී ය

සූවිසි මහ ගුණය

නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස

බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝරත්නය යන මේ වස්තු තුන බෞද්ධයන්ගේ අත්‍යුත්තම ප්‍රතිෂ්ඨා තුන ය. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා තැනැත්තේ බෞද්ධ නම් වේ. සරණ යාමය යි කියනුයේ ඒ පිළිගැනීමට ය. රත්නත්‍රයේ එක ගුණයකුදු නො දැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයකු වන්නට නම් තරමක්වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැඳින ගත යුතු ය. පෘථග්ජන පුද්ගලයකුට තබා ආර්‍ය්‍ය පුද්ගලයකුට ද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නො හැකිය. එහෙත් සකල බෞද්ධයන් විසින් ම තරමකින්වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතු ය. තෙරුවන් ගුණ දන්නා පමණට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස් ය.

බුද්ධ ගුණය අනන්ත ය. සාමාන්‍ය ජනයාට තබා රහතුන්ට ද අවිෂය ය. රහතුන් විසින් ද දත නොහෙන බොහෝ බුදු ගුණ ඇත්තේය. දත් කෙනෙකුට වුවද බුදුගුණ කියා නිම කිරීමට කාලයක් නැත්තේ ය.

“බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං කප්පම්පි චෙ අඤ්ඤමභාසමානෝ ඛීයේථ කප්පෝ චිරදීඝමන්තරේ වණ්ණෝ න ඛීයේථ තථාගතස්ස.”

යනුවෙන් බුදුන් වහන්සේ විසින් අනිකක් නො වදාරමින් කල්පය මුළුල්ලෙහි රෑ දවල් දෙක්හි නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවී යන නමුත් බුදුගුණ කීම අවසන් නො වන බව දක්වා තිබේ. අනන්ත වූ බුද්ධ ගුණස්කන්ධයෙහි සාමාන්‍ය ජනයාට දත හැකි බුදු ගුණ ඇත්තේ ස්වල්පයෙකි. එබැවින් සාමාන්‍ය ජනයාගෙන් බුදුගුණ දන්නවුන් දන්නේ ද ඒවායන් ඉතා ස්වල්පයෙකි.

සකල ලෞකික මහජනයාගේ ම බුදුගුණ දැනීමට වඩා මහත්වූ බුදුගුණ එක් සෝවාන් පුද්ගලයකුට ඇතය යි ද, සෝවාන් පුද්ගලයන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් සකෘදාගාමී පුද්ගලයකුට ඇතය යි ද, සකෘදාගාමීන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අනාගාමී පුද්ගලයකුට ඇතය යි ද, අනාගාමීන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අර්හත් පුද්ගලයකුට ඇතය යි ද, සාමාන්‍ය රහතන්ගේ බුදුගුණ දැනුමට මහත් දැනුමක් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් ද මහා කාශ්‍යප අනුරුද්ධ මහා කච්චාන මහා කොට්ඨිත යන මහ තෙරුන් වහන්සේලාට බුදුගුණ පිළිබඳ අතිරේක දැනුමක් ඇතය යි ද, ඒ සතර මහතෙරුන්ගේ බුදුගුණ දැනුමට වැඩි දැනුමක් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, උන්වහන්සේලා අතුරෙන් ද සැරියුත් මහ තෙරුන් වහන්සේට මහත්වූ බුදුගුණ දැනුමක් ඇතය යි ද, සැරියුත් මහා තෙරුන් වහන්සේට වැඩි බුදුගුණ දැනුමක් පසේ බුදුන්වහන්සේ කෙනෙකුන්ට ඇතය යි ද, ඉදින් සක්වළ පුරා සිවුරු කොණින් සිවුරු කොණ ගැටෙන සේ පසේ බුදුවරයන් වැඩ හිඳ බුදුගුණ සිතන අවස්ථාවක් වී නම් ඒ අවස්ථාවෙහි සක්වළ පුරා වැඩ ඉන්නා සියලු පසේ බුදුවරුන්ගේ බුද්ධගුණඥාණයට මහත්වූ බුද්ධගුණඥාණයක් එක් ලොවුතුරා බුදුකෙනෙකුන්ට ඇතැය යි ද සම්පසාදනීය සූත්‍ර අටුවාවෙහි (දීඝනිකායට්ඨ කථා) දක්වා ඇත්තේ ය.

නුවණැතියන්ගෙන් අගතැන්පත් සැරියුත් මහා තෙරුන් වහන්සේට වුව ද හරියට පෙනෙන බුදුගුණ ඇත්තේ ස්වල්පයකි. උන්වහන්සේ බුදුගුණ අනන්තය අපරිමාණය යි පිළිගන්නේ ද තමන් වහන්සේට පෙනෙන දැනෙන බුදුගුණ අනුව, නො පෙනෙන නො දැනෙන මහා ගුණස්කන්ධය අනුමානයෙන් සිතා ගැනීමෙනි. එක් එක් පසකින් නවයොදුන බැගින් අටළොස් යොදුන් බිම් පෙදෙසක් යට කොට ගලා යන චන්ද්‍රභාගා නම් ගංගාවෙන් ඉදිකටු මලකින් ගත් ජලය ඉතා අල්ප වන්නාක් මෙන් ද, නො ගත් ජලය ම බොහෝ වන්නාක් මෙන්ද, මහාපොළොවෙන් ඇඟිල්ලට පස් ටිකක් ගත් කල්හි ඇඟිල්ලට ආ පස අත්‍යල්ප වන්නාක් මෙන් ද, පොළොවේ පස් බොහෝ වන්නාක් මෙන් ද, මහ සයුරට ඇඟිල්ලක් දිගු කළ කල්හි ඇඟිල්ල කෙළින් ඇති ජලය අත්‍යල්ප වන්නාක් මෙන් ද, ඉතිරි ජලයම බොහෝ වන්නාක් මෙන් ද, අහසට ඇඟිල්ලක් දිගුකළ කල්හි ඇඟිල්ලට කෙළින් සිටිනා අහස අත්‍යල්ප වන්නාක් මෙන් ද, ඉතිරි අහසම බොහෝ වන්නාක් මෙන් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට වුව ද හරියට පෙනෙන දැනෙන බුදුගුණ අත්‍යල්ප බව ද, හරියට නො පෙනෙන නො දැනෙන බුදුගුණම බොහෝ බව ද, සම්පසාදනීය සුත්තට්ඨ කථාවෙහිම දක්වා තිබේ. සාමාන්‍ය ලෝකයාහට අනන්ත බුද්ධගුණස්කන්ධය පිළිබඳ ව එක්තරා ප්‍රමාණයකට දැනුමක් ඇති කර ගත හැකි වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් බුද්ධගුණයන් නව කොටසකට බෙදා පද නවයකට සකල බුද්ධ ගුණස්කන්ධය ඇතුළු කොට බුදුගුණ පාඨයක් වදාරා ඇත්තේ ය.

ඒ මෙසේය :

ඉතිපි සො භගවා අරහං, සම්මා සම්බුද්ධො, විජ්ජා චරණසම්පන්නො, සුගතො, ලොකවිදූ, අනුත්තරො පුරිසදම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං, බුද්ධො, භගවාති.

ඒ පාඨයේ තේරුම මෙසේය:

1. සො භගවා අරහං

ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද, උසස් ඵල පතා සැදැහැතියන් විසින් කරන පූජාවන් පිළිගැනීමට සුදුසු වූ සේක.

2. සො භගවා සම්මා සම්බුද්ධො

ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සකල ධර්ම සමූහය අනිකකුගෙන් අසා ගැනීමක් නො කොට තමන් වහන්සේ විසින්ම කිසිදු වැරදීමක් නැතිව ඇති සැටියෙන්ම දැන සිටින සේක.

3. සො භගවා විජ්ජාචරණ සම්පන්නො

ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා නම් වූ ඥාන විශේෂයන්ගෙන් හා චරණ නම් වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් සම්පූර්ණ වන සේක.

4. සො භගවා සුගතො

ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගති ඇති සේක.

5. සො භගවා ලොකවිදූ

ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇති සැටියෙන් දැන වදාළ සේක.

6. සො භගවා අනුත්තරො පුරිසදම්මසාරථි

ඒ භාග්‍යවතුන් වහන්සේ කායබල සෘද්ධිබලාදියෙන් මත්ව ප්‍රචණ්ඩව සිටින පුද්ගලයන් දමනය කොට සුමගට පැමිණවීමෙහි අන් සැමට වඩා සමත් වන සේක.

7. සො භගවා සත්ථා දෙවමනුස්සානං

ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ගුරු වන සේක.

8. සො භගවා බුද්ධො

ඒ භාග්‍යවතුන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍යය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ලෝකයාට ද අවබෝධ කරවන සේක.

9. සො භගවා භගවා

ඒ භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සැමදෙනා විසින් ම ගරු කිරීමට සුදුසු වන සේක.

මෙසේ සැකෙවින් දැක්වුණු බුදුගුණ නවය ඉදිරියෙහි එකින් එක විස්තර කරනු ලැබේ.

1. අරහං ගුණය

අර්ථකථා ටීකාවන්හි “අරහං”යන වචනය නොයෙක් ආකාරයට විභාග කොට එහි නොයෙක් අර්ථ දක්වා තිබේ. “අරහං”යන වචනයෙහි සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යනු යි. තථාගතයන් වහන්සේ කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේ ය. මේ අරහං ගුණ කථාවෙහිදී ඒ සෑම සුදුසු කමක්ම අදහස් කරනු නො ලැබේ. මෙතන්හි අදහස් කරන සුදුසු බව නම් දක්ෂිණාව පිළිගැනීමටත් පිළිගැන්වීමටත් සුදුසු බවය. තථාගතයන් වහන්සේ දක්ෂිණාව පිළිගැනීමට සුදුසු වන්නාහ. එහෙයින්ම දක්ෂිණාව පිළිගැන්වීමට ද සුදුසු වන්නාහ.

දක්ෂිණාව යනු කුමක් ද? අනාගතයෙහි ලෞකිකවූ ද ලෝකෝත්තර වූ ද උසස් ඵල බලාපොරොත්තුවෙන් සැදැහැතියන් විසින් පුදන චීවරාදි ප්‍රත්‍යය දක්ෂිණා නම් වේ. උසස් ඵල බලාපොරොත්තුවෙන් පූජාවක් කරන්නාවූ තැනැත්තාට ඔහු බලාපොරොත්තු වන දෙය ලබා දීමට යමෙක් සමත් වේ නම්, ඒ තැනැත්තාම එය පිළිගැනීමට සුදුසු ය. තථාගතයන් වහන්සේ එසේ උසස් බලාපොරොත්තු වලින් පූජා කරන්නවුන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරදීමට සමර්ථ ය. ප්‍රත්‍යය පූජා කළවුන්ට ඵල ලබාදීම සඳහා තථාගතයන් වහන්සේ විසින් යම්කිසි උත්සාහයක් කරන්නේ නැත. උන්වහන්සේගේ ගුණමහත්වය නිසා පූජා කරන්නවුන්ට ඔවුන්ගේ ප්‍රාර්ථනා සිද්ධියට පැමිණේ. එබැවින් තථාගතයන් වහන්සේ “අරහං” නම් වේ. ප්‍රාර්ථනා සිද්ධියට හේතු වන යම් ගුණයක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති නම් ඒ ගුණය අරහං ගුණය ය.

දක්ෂිණාව මහත්ඵල කිරීමේ ශක්තිය බුදුරදුන්ට පමණක් නොව සංඝරත්නයට ද ඇත්තේ ය. සංඝ ගුණ පාඨයේ “දක්ඛිණෙය්‍යා” යන පදයෙන් දැක්වෙන්නේ ඒ ගුණය ය. “දක්ඛිණෙය්‍යා” යන පදයේ තේරුම දක්ෂිණාව පිළිගැනීමට සුදුසුය යනු යි. සකල ක්ලේශ ප්‍රහාණයෙන් පරිශුද්ධත්වයට පැමිණ සිටින රහතන් වහන්සේ අග්ගදක්ඛිණෙය්‍ය නම් වෙති. පසේ බුදුවරුන් හා ලොවුතුරා බුදුවරු ද අර්හත්වයට පැමිණීමෙන් සකලක්ලේශයන් ප්‍රහාණය කර ශුද්ධත්වයට පැමිණ සිටින පුද්ගලයන් වන බැවින් උන්වහන්සේලා ද අග්ගදක්ඛිණෙය්‍යයෝම ය. එහෙත් ශ්‍රාවකවූ රහතුන්ගේ දක්ෂිණාර්හ භාවයට වඩා උන්වහන්සේලා ගේ දක්ෂිණාර්හභාවය උසස් ය. අරහං යන වචනයෙන් කියවෙන්නේ ලොවුතුරා බුදුවරුන්ගේ දක්ඛිණෙය්‍ය භාවය ය. දක්ඛිණෙය්‍ය භාවය ඇත ද රහතුන් සඳහා ඒ වචනය නො යොදනු ලැබේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවක සංඝයාගෙන් අන්‍යවූ උපාසකෝපාසිකාදීන්ට දන් දීමෙහි ද ඵල ඇත්තේ වී නමුත් ඔවුන් සඳහා දක්ඛිණෙය්‍ය යන වචනය ව්‍යවහාර කරනු නො ලැබේ. මාපියෝ ද දූ දරුවන් විසින් පිදිය යුත්තෝ ය. ඔවුන් සඳහා සංඝගුණපාඨයෙහි එන “ආහුණ්‍යෙය” යන පදය යොදා තිබේ. එහි තේරුම දුර සිට වුවද ගෙන ගොස් පිදිය යුත්තෝ ය යනු යි.

“අරහං - දක්ඛිණෙය්‍ය” යන පදවලින් කියැවෙන දක්ෂිණාර්හ පුද්ගලයන්ගේ නානත්ත්වය වේලාම සූත්‍රයෙහි එන පරිදි සැලකිය යුතුයි. අතීතයෙහි අප මහා බෝසත්තුමා වේලාම නම් බමුණෙක් විය. වේලාම බ්‍රාහ්මණ මහා දානයක් දිණ. හෙතෙම රිදී බඩු රිදී මිල පිරවූ රන් තැටි ද, රන් බඩු රන් කාසි පිරවූ රිදී තැටි ද, සත්රුවන් පිරවූ ලොහො තැටි ද, රන් අබරණ රන් කොඩි රන් දැල්වලින් සැරසූ ඇතුන් ද, සිංහ සම්, දිවි සම්, ව්‍යාඝ්‍ර සම් කම්බිවලින් සරසන ලද්දාවූ ස්වර්ණාලංකාර ස්වර්ණද්ධ්වජ සහිතවූ රන් දැල් සහිතවූ රථයන් ද, කිරිදෙනුන් ද, කිරි ගන්නා රිදී බඳුන් ද මිණිකොඬලින් සැරසූ කන්‍යාවන් ද, කොට්ට, ඇතිරිලි, උඩුවියන් සහිත ඇඳන් ද, අගනා පිළිමිටි ද සුවාසූ දහස බැගින් දුන්නේ ය. ප්‍රමාණයක් නැති තරමට බොහෝ ආහාරපාන ද දුන්නේ ය. වේලාම බ්‍රාහ්මණ දන් දුන් කාලය අබුද්ධෝත්පාද කාලයක බැවින් ඒ දානය මහත්ඵල කිරීමට සමර්ථ වන එක ප්‍රතිග්‍රාහකයකුදු නො සිටියේ ය. එබැවින් තථාගතයන් වහන්සේ :-

“යං ගහපති වෙලාමො බ්‍රාහ්මණො දානං අදාසි මහාදානං, යො එකං දිට්ඨීසම්පන්නං භොජෙය්‍ය, ඉදං තතො මහප්ඵලතරං”

යනාදීන් අනේපිඬු මහා සිටාණන්හට දක්ෂිණාර්හයන්ගේ තතු පහදා වදාරණසේක්: සත්හවුරුදු සත්මස් සත්දිනක් මුළුල්ලෙහි වේලාම බ්‍රාහ්මණ විසින් දෙන ලද දානයට වඩා එක් සෝවාන් පුද්ගලයකුට දෙන දානය මහත්ඵල වන බව ද, සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් සකෘදාගාමී පුද්ගලයකුට දෙන දානය මහත් ඵල වන බවද, සකෘදාගාමීන් සියයකට දෙන දනට වඩා එක් අනාගාමී පුද්ගලයකුට දෙන දානය මහත් ඵල වන බවද, අනාගාමීන් සියයකට දෙන දානයට වඩා එක් රහත් නමකට දෙන දානය මහත්ඵල වන බව ද, රහතුන් සියයකට දෙන දානයට වඩා එක් පසේ බුදුවරයකුට දෙන දානය මහත්ඵල වන බවද, පසේ බුදුවරුන් සියයකට දෙන දානයට වඩා එක් ලොවුතුරා බුදුකෙනකුට දෙන දානය මහත්ඵල වන බවද වදාළ සේක. වේලාම සූත්‍රයේ එන මේ දානවිභාගය අනුව සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් ප්‍රත්‍යෙක සම්බුද්ධ සම්‍යක්සම්බුද්ධ යන පුද්ගලයන් පිළිවෙලින් එක් එක් පුද්ගලයකුට වඩා එක් එක් පුද්ගලයකු සිය සිය ගුණයෙන් වැඩි දක්ෂිණාර්හභාවය ඇතියවුන් බව කිය යුතු ය. ලොවුතුරා බුදුවරුන්ගේ දක්ෂිණාර්හභාවය ඉතා උසස් වන බැවින් බුද්ධගුණ කථනයේදී ඒ උසස් දක්ෂිණාර්හභාවය දැක්වීම සඳහා “අරහං” යන ගුණපදය භාවිත කරනු ලැබේ. සෙස්සන් සඳහා දක්ඛිණෙය්‍ය, අග්ගදක්ඛිණෙය්‍ය යන ගුණපද ව්‍යවහාර කරනු ලැබේ.

දක්ෂිණාර්හභාවයේ හේතුව ලෙස දක්වා ඇත්තේ කෙලෙසුන් කෙරෙන් පවිත්‍ර බව ය. කෙලෙස් තුනී කර ගෙන සිටින්නෝ ද දක්ෂිණාර්හයෝ ය. සකල ක්ලේශයන් ප්‍රහාණය කොට සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් පවිත්‍රව සිටින රහත්හු අග්‍රදක්ෂිණාර්හයෝ ය. ලොවුතුරා බුදුවරුන් වාසනාව සහිතව ක්ලේශප්‍රහාණය කර ඇති බැවින් උන්වහන්සේගේ පාරිශුද්ධිය රහතුන්ගේ පාරිශුද්ධියට උසස් ය. එබැවින් ලොවුතුරා බුදුහු අග්‍රදක්ෂිණාර්හයන්ට වැඩි දක්ෂිණාර්හයෝ ය. අරහං යන පදයෙන් කියනුයේ ඒ සාතිශය දක්ෂිණාර්හ භාවය යි. තණ, වල්පැළෑටි, ගල් බොරළු නැති කුඹුරක වී වපුළ ගොවියාට එයින් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන් කෙලෙසුන්ගෙන් පවිත්‍ර සන්තානයක් ඇති පුද්ගලයකුට දුන් කල්හි එයින් දායකයාට බොහෝ ඵල ලැබෙන බව - උසස් ඵල ලැබෙන බව කියනු ලැබේ. ප්‍රතිග්‍රාහකයාගේ ශුද්ධත්වය නිසා දායකයාට වඩා ඵල ලැබේය යන මේ කරුණ තේරුම් ගැනීමට දුෂ්කර, ඔප්පු කිරීමට දුෂ්කර ගැඹුරු කරුණෙකි. මෙබඳු කරුණුවලදී ශ්‍රද්ධාව ම පිහිටකර ගත යුතු ය. අතීතයේ ඇතැම් සැදැහැවතුන් සාමාන්‍ය කෙනකු විසින් දිය නොහෙන, දීමට අතිශයින් දුෂ්කර දානයන් දී තිබේ. එබඳු දුෂ්කර දානයන් බෙහෙවින් දී ඇත්තේ කාන්තාවන් විසිනි. එබඳු දුෂ්කර දීමනාවන් කළ බොහෝ දෙනකුන් ලක්දිව විසූ බව කතාපුවත්වලින් පෙනේ. එසේ දෙන දුෂ්කර දානයන් පෘථග්ජන භාවයෙහි සිට පිළිගැනීම, වැළදීම නුසුදුසු යයි සලකා ඇතැම් භික්ෂූන් ජීවිත පරිත්‍යාගයෙන් වෙර වඩා සව් කෙලෙසුන් නසා රහත්වූ බව දැක්වෙන කථා ප්‍රවෘත්තීන් ගණනක් ම අපේ බණ පොත්වල සඳහන් වී ඇත්තේ ය.

භික්ෂූන් සැටනමක් රහත්වීම

පෙර මේ ලක්දිව භික්ෂූන් සැටනමක් එක්වී නාගදීපයේ රාජායතන චෛත්‍යය වැඳීම සඳහා ගොස් චෛත්‍යය වැඳ පුදා එහිම රාත්‍රිය ගෙවා පසු දින උදෑසන පාත්‍ර ගෙන පිඬු පිණිස ගමට පිවිසියාහු ය. එක් ගෙයකිනුදු කිසි අහරක් නො ලබා උන්වහන්සේලා හිස් පාත්‍රවලින් යුතුව ම ගම් දොරට පැමිණියහ. එගම කහවනු සැටක් ණය වී එය වෙනුවට ගෙයක මෙහෙවර කරන “නාගා” නම් ස්ත්‍රියක් විසුවා ය. ඕ කළයක් ගෙන දිය පිණිස යන්නී ඒ භික්ෂූන් දැක උන්වහන්සේලා වෙත ගොස් වැඳ “ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා පිණ්ඩපාතය ලද්දාහුදැ”යි විචාළා ය. භික්ෂූහු “උපාසිකාවෙනි, තව ම පෙරවරු කාලය ඇත්තේය”යි කීහ. ඕ භික්ෂූන් වහන්සේලා අහරක් ලබා නැති බව තේරුම් ගෙන මහත් සංවේගයට පැමිණ “කෙසේ හෝ මුන් වහන්සේලාට දන් සැපයිය යුතුය, මුන්වහන්සේලා සුන්බත් වන්නට ඉඩ නොදිය යුතුය, දන් දීමට කිසි වස්තුවක් මට නැත, මම ණය ගෙවා ගත නො හැකිව වැඩ කරමින් සිටින දුගියෙක්මි. මා දැන් වැඩ කරන්නේ දවල් කාලයේ පමණය. මට රාත්‍රියේ ද වැඩ කළ හැකි ය, රාත්‍රියේ වැඩ කරදීම සඳහා මුදලක් ණයට ගෙන මුන්වහන්සේලාට දන් සපයමි”යි සිතා කළය භික්ෂූන් ඉදිරියේ තබා “ස්වාමීනි, මේ කළය මෙහි තබා යෙමි. නුඹවහන්සේලා කරුණාකර මා එනතුරු මෙහි මොහොතක් වැඩසිටිත්වා”යි කියා වහා තමා වැඩ කරන ගෙටම ගොස් ගෘහස්වාමියාගෙන් තවත් කහවණු සැටක් ණයට ඉල්ලී ය.

එකල්හි ගෙහිමියා “තී තවම පරණ ණයෙන් නොමිදී කුමට තවත් ණය ඉල්ලන්නීදැ”යි කීය. එකල්හි ඕ “හිමියෙනි, ධනය ගැන බිය නොවනු මැනව, මම දැන් ගන්නා මුදල වෙනුවට රාත්‍රිය වැඩ කරමි”යි කීවාය. ගෙහිමියා “එසේ නම් යහපතැ”යි ඇයට කහවණු සැටක් දිණ. ඕ තොමෝ මුදල් ගෙන වහා ගමෙහි ඇවිද එක ගෙයකට එක කහවණුව බැගින් දී දන් පිළියෙල කරවා පාත්‍රවලට බෙදා භික්ෂූන් වහන්සේලාට පිළිගන්වා වැඳ තමා දානය පිළියෙල කළ සැටි ද භික්ෂූන්ට කියා, කළය ගෙන ගියාය. ඇගේ කථාව ඇසූ භික්ෂූහු විශ්මයට පැමිණ එහි ම දන් නො වළඳා තම තමන්ගේ පාත්‍ර ගෙන මහානාම නම් විල සමීපයේ මිදෙල්ල වනයට ගියහ. එහිදී සංඝස්ථවිරයන් වහන්සේ සෙසු භික්ෂූන් අමතා කියන සේක් “ඇවැත්නි මේ දානය දුන් දුගී කත අපේ මව හෝ නො වන්නීය, සොහොයුරියක් ද නො වන්නීය, නෑ තැනැත්තියක් ද නො වන්නීය, අතිශයින් දිළිදු වූ ඇය තමාගේ ශරීරය විකුණා මේ දානය අපට පිළියෙළ කර දුන්නේ “සිල්වත් වූ ගුණවත් වූ මුන්වහන්සේලාට දීමෙන් අනන්ත ඵල ලැබෙන්නේය”යි සලකා ගෙන ය. මෙබඳු දානය අප විසින් සරාගීව සිට වැළදීම නුසුදුසු ය. ඇගේ දානය මහත්ඵල වන පරිදිම අප විසින් ඒ දානය වැළඳිය යුතුය. ඒ නිසා අපි මේ දානය කෙසේ හෝ සව් කෙලෙසුන් නසා රහත්වම වළඳමුය”යි කීහ. ඉක්බිති භික්ෂූහු “රහත් නොවී මේ දානය නො වළඳමු”යි වනයෙහි තැන තැන හිඳ මහත්වූ උත්සාහයෙන් වෙනදාට වඩා අතිරේක උත්සාහයකින් භාවනාවට පටන් ගෙන එදින පෙරවරුකාලයේදී ම සැමදෙනා වහන්සේ ම සියලු කෙලෙසුන් නසා රහත් වූහ. එය දැන වනදෙවියෝ සාධුකාර දුන්හ. උන්වහන්සේලා දෙවියන්ගේ සාධුකාර මධ්‍යයේම පවිත්‍ර වූ සන්තාන ඇතිව නාගාට දානය මහත්ඵල වන පරිදි ආහාර වැළඳූහ. මේ පුවත දැන ගන්නට ලැබී රජුගේ ශ්වේතච්ඡත්‍රයෙහි අධිගෘහිත දෙවියා ද සාධුකාර දිණ. රජු ඔහුගෙන් අසා නාගා ගැන පැහැදී ණය හිමියාත් සමඟ ඇය ගෙන්වා ණයෙන් මුදවා ඒ දිවයින ඇයට ම දී තවත් සම්පත් ද දිණ. ඉක්බිති ඕ තවත් බොහෝ පින්කම් කොට ජීවිතාවසානයේ දෙව්ලොව උපන්නා ය. (මේ රසවාහිනියේ එන කථාවෙකි.)

(මේ කථාවේ සැටියට රාජායතන චෛත්‍යයට නුදුරින් මහානාම නම් විලක් හා මිදෙල්ල වනයක් ද තිබිය යුතු ය. දැනට නාගදීපය වශයෙන් සලකන දිවයින බුදුරදුන් වැඩ වදාළ රාජායතන චෛත්‍ය පිහිටි නාගදීපය ද නැතහොත් නියම නාගදීපය අන් තැනක් ද යනු විමසිය යුතු ය.)

උපාසිකාවක් නිසා රහත් වූ මහාමිත්‍ර තෙරුන් වහන්සේ

මහාමිත්‍ර තෙරණුවෝ කස්සක නම් ලෙනක වාසය කෙරෙති. එක් උපාසිකාවක් උන් වහන්සේ දරුවකු ලෙස සලකා පෝෂණය කරන්නී ය. ඕ එක් දිනක යම්කිසිවක් පිණිස වනයට යන්නට සූදානම් වී දුව අමතා “දුව, අසවල් තැන පරණ සහල් ඇත. අසවල් තැන කිරි ඇත. අසවල් තැන ගිතෙල් ඇත. අසවල් තැන පැණි ඇත, තිගේ සොහොයුරා වන මිත්‍ර තෙරණුවන් වැඩි කල්හි බත් පිස කිරි ගිතෙල් පැණි හා උන්වහන්සේට දෙව, තී ද අනුභව කරව, මම වනාහි ඊයේ පිසූ හීල්බත් ටිකක් තිබී කාඩි හා අනුභව කෙළෙමි”යි කීවාය. “මෑණියනි, ඔබ දවාලට කුමක් කන්නී දැ”යි දූ ඇසුවා ය. “සහල් ටිකක් ගෙන පළාකොළ දමා ඇඹුල් කැඳක් පිස තබව”යි මහා උපාසිකාව කීවා ය. තෙරුන් වහන්සේ උපාසිකාවගේ ගෙට යනු පිණිස සිවුරු ගැටවොටු ගන්වා ගණ්ඨීලා පසුම්බියෙන් පාත්‍රය ගන්නා කල්හි උපාසිකාවගේ කථාව උන්වහන්සේට ඇසිණ. එය අසා තෙරුන් වහන්සේ තමාට ම අවවාද කර ගන්නාහු, “මහා උපාසිකාව කාඩි හා හීල්බත් අනුභව කළාය, ඕ දවාලට ද ඇඹුල් කැඳක් වළදන්නීය. නුඹ පිණිස පරණ සහල් ආදිය ඇති තැන් කියන්නීය. ඈ නුඹෙන් වත්තක් කුඹුරක් බලාපොරොත්තු නො වන්නී ය. ආහාර වස්ත්‍ර බලාපොරොත්තු නො වන්නී ය. ඇය සුළු දෙයකින් යැපී නුඹට ප්‍රණීත භෝජනයක් පිළියෙළ කරවා දෙන්නේ නුඹ නිසා ත්‍රිවිධ සම්පත්තියම ලැබෙතැයි සිතා ය, නුඹ ඇයට ඒ සම්පත් දෙන්නට සමත් වන්නෙහිද? නො රහත් වූ නුඹ ඇයට ඒ සම්පත් දීමට නො සමත්‍ ය, නුඹ විසින් මහා උපාසිකාවගේ දානය රාග සහිතව ද්වේෂ සහිතව මෝහ සහිතව සිට නො වැළඳිය යුතුය යි අවවාද කර ගත්හ. ඉක්බිති පාත්‍රය ථවිකයෙහි ලා ආපසු අවුත් ලෙනට පිවිස පා සිවුරු තැන්පත් කොට “රහත් නොවී ලෙනෙන් නො නික්මෙමි”යි ඉටා බලවත් උත්සාහයෙන් විදසුන් වඩන්නට වන. කලක පටන් භාවනාවෙහි යෙදුණු උන්වහන්සේට එදින පෙරවරු කාලයේදී ම සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණිය හැකි විය.

ශ්‍රමණ ධර්මය මස්තකප්‍රාප්ත කරගත් උන්වහන්සේ ඉමහත් ප්‍රීතියෙන් පැහැපත් මුහුණෙන් ලෙනෙන් නික්මුණාහ. ලෙන්දොර වෙසෙන දෙවියා උන්වහන්සේගේ අර්හත්වයට පැමිණීම දැන ඉමහත් සතුටට පැමිණ-

“නමෝ තේ පුරිසාජඤ්ඤ - නමෝ තේ පුරිසුත්තම

යස්ස තේ ආසවා ඛීණා - දක්ඛිණෙය්‍යා’සි මාරිස”

යි උදන් අනා “ස්වාමීනි නුඹ වහන්සේ වැනි රහතුන්ට දන් දී මහළු ස්ත්‍රීහු දුකින් මිදෙන්නාහ”යි කීය. තෙරුන් වහන්සේ කල් බලන සේක් පෙරවරු කාලය බව දැන පා සිවුරු ගෙන ගමට පිවිසුණාහ. මහළු ස්ත්‍රියගේ දූ ආහාර පිළියෙල කර “මාගේ සොහොයුරාණන් දැන් දැන් එනු ඇතැ”යි බලා හුන්නා ය. ඕ තෙරුන් වහන්සේ දොර සමීපයට පැමිණි කල්හි පාත්‍රය ගෙන ගිතෙල් හා පැණියෙන් යුක්ත කිරිබත බෙදා උන්වහන්සේගේ අත තැබුවා ය. තෙරුන් වහන්සේ ඇයට “සුවපත් වේවා”යි අනුමෝදනා කොට පෙරළා වැඩම කළහ. එදා තෙරුන් වහන්සේගේ සිරුර අතිශයින් පැහැපත්ව තිබිණ. නෙත් යුවල මිණි යුවලක් සේ බැබලෙමින් තිබිණ. මුහුණු පුබුදුවූ පියුමක් සේ බැබලෙමින් තිබිණ. දැරිය උන් වහන්සේ වඩිනු බලා ගෙනම සිටියා ය. මහළු ස්ත්‍රිය අවුත් “දුව, නුඹේ සොහොයුරා ආයේ දැ”යි ඇසුවා ය. දැරිය සියලු පුවත් මවට කීවා ය. උපාසිකාව තෙරණුවන්ගේ ශ්‍රමණ කෘත්‍යය මස්තකප්‍රාප්ත වූ බව දැන “දුව, තිගේ සොහොයුරා බුදුසස්නෙහි සිත් අලවා වෙසෙයි, සස්නෙහි මතු උකටළී නො වන්නේය”යි කීවා ය.

(මනෝරථපූරණී 276)

පුණ්ණ දුගියා සිටුවරයකු වීම.

රහතන් වහන්සේගේ අග්‍ර දක්ෂිණාර්හ භාවයට පුණ්ණ සිටුගේ කථාව නිදසුනෙකි. රජගහ නුවර සුමන සිටු නිසා ජීවත්වන පුණ්ණ නම් දුගියෙක් විය. ඔහුට බිරියක් හා උත්තරා නම් දුවක් ද වූහ. එක් කලෙක රජගහ වැස්සෝ නැකැත් කෙළියකට සැරසුණෝ ය. එය සතියක් පවත්වන උත්සවයෙකි. එදා උදෑසන ද පුරුදු පරිදි පුණ්ණ සිටු ගෙදරට ගියේය. සුමන සිටු ඔහු අමතා කියනුයේ, “පුණ්ණ, අද සෑම දෙනම නැකැත් කෙළියට සැරසෙති, නුඹ අදත් වැඩ කරන්නෙහි ද, නැතහොත් නැකැත් කෙළියෙහි යෙදෙන්නෙහි දැ”යි කීය. එකල්හි පුණ්ණ “හිමියෙනි, නැකැත් කෙළි ඇත්තේ පොහොසතුන්ට ය, අපේ ගෙදර කැඳකට සහල්වත් නැත, මට නැකැත් කෙළියෙන් කම් නැත, ගොණුන් ලැබෙතහොත් සෑමට යෙමියි” කීය. “එසේ නම් ගවයන් ගනුව”යි සිටුතුමා කීය. පුණ්ණ ගොන් බානක් හා නගුලක් ගෙන භාර්යාව අමතා “සොඳුර, අද මේ නුවර වැස්සෝ නැකැත් කෙළි කෙළිනාහ. දුප්පත් නිසා මම සිටාණන්ගේ කුඹුර සාන්නට යන්නෙමි. අද මට දෙගුණයක් වියදම් කොට වෙනදාට හොඳින් කෑම පිළියල කොට ගෙන එව”යි කියා කුඹුරට ගියේය.

සැරියුත් මහා තෙරුන් වහන්සේ සත්දිනක් නිරෝධ සමාපත්තියෙන් වැඩ සිට එදා උදෑසන සමවතින් නැගිට “අද කවරකුට සංග්‍රහ කිරීම වටනේ දැ”යි බලන සේක් පුණ්ණ දුගියා දැක ඔහු ශ්‍රද්ධාවත් බව හා ඒ නිසා ඔහුට මහා සම්පත්තියක් ලැබිය හැකිබව ද දැක වදාරා පා සිවුරු ගෙන ඔහු සීසාන තැනට වැඩ වදාරා දියවලක් සමීපයේ එක් පඳුරක් දෙස බලා හුන් සේක. පුණ්ණ, තෙරුන් වහන්සේ දැක සී සෑම නවත්වා උන් වහන්සේ වෙත ගොස් පසඟ පිහිටවා වැඳ මුන් වහන්සේට දැහැටි වුවමනා වී ඇතැයි සිතා පඳුරෙන් කෝටුවක් ගෙන සැරියුත් හිමියන්ට පිළිගැන්වී ය. එකල්හි තෙරුන් වහන්සේ පාත්‍රය හා පෙරහන ඔහුට දුන්හ. ඔහු පැන් පෙරා තෙරුන් වහන්සේට පිළිගැන්වී ය. ඉක්බිති තෙරුන් වහන්සේ “ඉඳින් මා රජගහ නුවරට පිවිසියේ නම් අනුන්ගේ ගෙවල් පිටිපස ගෙයක වෙසෙන මොහුගේ බිරිය මා නො දක්නීය. ඇය බත ගෙන මඟට වන් කල්හිම යෙමි”යි සිතා මඳවේලාවක් එහිම රැඳී සිට පුණ්ණගේ බිරිය බත ගෙන මඟට බට පසු තෙරුන් වහන්සේ නුවර බලා වැඩම කළ සේක. ඕ අතර මඟ තෙරුන් වහන්සේ දැක “මට සමහර විට ආර්‍ය්‍යයන් වහන්සේ මුණගැසුන මුත් දෙන්නට දෙයක් නොමැත. දෙන්නට දෙයක් ඇති විට ආර්‍ය්‍යයන් වහන්සේ මුණගැසෙන්නේ නැත. අද ආර්‍ය්‍යයන් වහන්සේ ද මුණගැසී ඇත. දීමට දෙයකුත් මා වෙත ඇත. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ලැබිය යුතුය”යි සිතා හිස තුබූ බත් බඳුන බිම තබා තෙරුන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ “ස්වාමීනි, මෙහි හොඳ නරක නොබලා නුඹ වහන්සේගේ දාසයාට අනුග්‍රහ කළ මැනව”යි කීය. තෙරුන් වහන්සේ පාත්‍රය එලවූහ. ඕ එක් අතකින් අහර බඳුන ගෙන එක් අතකින් පාත්‍රයට බෙදුවා ය. බතින් අඩක් බෙදූ කල්හි තෙරුන් වහන්සේ අතින් පාත්‍රය වැසූ සේක. ඕ “ස්වාමීනි, එක් අයකුට පිළියෙල කළ ආහාරය දෙකට බෙදිය නොහැකිය. නුඹ වහන්සේගේ දාසයා හට මෙලොවට සංග්‍රහ නො කොට පරලොව ම සංග්‍රහ කරනු මැනව”යි කියා සියල්ල ම පාත්‍රයට බෙදා “නුඹ වහන්සේ විසින් දක්නා ලද ධර්මය මට ද හිමිවේවා.”යි පැතුවා ය. තෙරුන් වහන්සේ “එසේම වේවා”යි අනුමෝදනා කොට ජලය පහසු තැනක වැඩ සිට ඔවුන්ගේ දානය වැළඳූ සේක.

පුණ්ණගේ බිරිය වහා ගෙදර ගොස් සහල් සොයා නැවතත් බත් පිසුවාය. පුණ්ණ අඩකිරියක් පමණ පෙදෙස සා සාගින්න ඉවසිය නො හැකිව ගොණුන් මුදාහැර සෙවන ඇති තැනකට වී බත පමා වන්නේ කිම් දෝ”යි මඟ දෙස බලා ගෙන හුන්නේය. බිරිය බත් ගෙන එන්නී ඔහු දැක, “ඉඳින් මොහු කිපී තී මෙතෙක් කුමක් කෙළෙහිදැයි කෙවිටෙන් පහර දිනි නම් මා කළ පින්කම නිෂ්ඵල වන්නේ ය. එබැවින් කාරණය කලින්ම කියමි”යි සිතා කියන්නී “හිමියනි, ඔබත් සිත පහදා ගන්න, මම උදෑසනින් ම ඔබට බත් ගෙන ආමි. අතරමඟදී දම්සෙනෙවියන් වහන්සේ හමුවී ඔබට ගෙනා බත උන්වහන්සේට පිළිගන්වා ගෙදර ගොස් නැවත ද බත් පිසගෙන ආමි. ඔබ ඒ ගැන සිත පහදා ගන්න”ය යි කීවාය. “සොඳුර, තී කළ දෙය ඉතා යහපති, මම ද අද උදෑසන උන්වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්වීමි”යි කියා පසන් සිතින් පින් අනුමෝදන්ව, දවල් වී බත් අනුභව කිරීමෙන් ක්ලාන්ත වී ඇගේ ඇකයෙහි හිස තබා මඳක් නිදා ගත්තේ ය. අවදි වී බැලූ ඔහුට තමා සෑ පෙදෙස රන්වන් වී පෙනිණි. ඔහු බිරිය අමතා කියනුයේ “සොඳුර, ඉතා දවල් වී ආහාරගත් බැවින් මගේ ඇස් දෙකත් නරක්වුනා වැනිය, මට අර සෑ පෙදෙසේ මැටිකැට පෙනෙන්නේ රත්තරන් සේ ය”යි කීය. “හිමියනි, මට පෙනෙන්නේත් එසේය”යි බිරිය කීවාය. ඔහු “කිමෙක්දෝ”යි පිරික්සනු පිණිස එහි ගොස් එක් කැටක් ගෙන නඟුලෙහි ගසා ඒවා රන් වී ඇති බව දැන “අහෝ ආර්‍ය්‍යයන් වහන්සේට දුන් දානයේ විපාක අදම පෙනෙන්නේ ය”යි ඉමහත් සොම්නසට පැමිණ කුඹුරේ පස් සියල්ල රන් වී ඇත, මෙතෙක් ධනය මට පරිහරණය නො කළ හැකිය, රජුගේ මාර්ගයෙන් මේ ධනස්කන්ධය ගෙන්වා ගත යුතුය යි සිතා, රජු වෙත ගොස් “දේවයන් වහන්ස, මා සෑ කුඹුරේ පස් රන් වී ඇත. ඒවා ගෙන්වා ගන්නට වටනේ ය”යි කීය. රජතුමා “නුඹ අද කුමක් කෙළෙහි දැ”යි ඇසීය. “දේවයන් වහන්ස, මම අද උදෑසන කුඹුරේදී දම්සෙනෙවියන් වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්වීමි. මාගේ බිරිය මට ගෙනෙන ලද බත ද උන් වහන්සේට පිළිගැන්වීය”යි පුණ්ණ කීය. රජතුමා “දම්සෙනෙවියන් වහන්සේට දුන් දානයේ විපාක අදම පෙන්වන්නේය”යි කියා “දරුව, දැන් කුමක් කළ යුතුදැ”යි ඇසීය.

“බොහෝ ගැල් යවා ඒ රන් ගෙන්වුව මැනවැ”යි පුණ්ණ කීය. රජතුමා රන් ගෙනෙනු පිණිස බොහෝ ගැල් යැවීය. රාජපුරුෂයෝ එහි ගොස් “රජුගේ රත්තරන් ය”යි ගත් කල්හි අතට එන රන් කැට නැවත මැටිකැට ම විය. ඒ බව රජු දැන්වු කල්හි රජතුමා ඒවා “පුණ්ණගේ රන්ය” කියා ගැල්වලට පටවා ගන්නට කීය. එසේ කරන කල්හි ඒවා රත්තරන් ලෙසම තිබිණ. ගැල්කරුවෝ ඒ සියල්ල ගෙනවුත් රජ මිදුලේ ගොඩ ගැසූහ. අසූ රියනක් උස රන් ගොඩක් විය.

ඉක්බිති රජතුමා නුවරුන් රැස් කරවා “මේ නුවර මෙතෙක් රන් අන් කවරකුට ඇත්තේ දැ”යි ඇසීය. “දේවයන් වහන්ස, කිසිවකුට නැතැ”යි වැසියෝ කීහ. “දැන් මොහුට කුමක් කළ යුතුදැ”යි රජු ඇසූ කල්හි “දේවයිනි, සිටු තනතුර දෙන්නට වටනේය”යි නුවර වැසියෝ කීය. රජතුමා “නුඹ බහුධන සිටු නම් වෙව”යි කියා ඔහුට සිටු තනතුර දිණ. ඔහුට එහි ගෙයක් තනවා ගෙන විසීමට ඉඩමක් ද දින. ඔහු එහි ගෙයක් කරවා ගෙවදීමේ මංගලය හා ඡත්‍ර මංගලය එකටම ගෙන සතියක් බුදුපාමොක් මහ සඟනට දන් දිණ. අවසානයේ දී තථාගතයන් වහන්සේගෙන් දහම් අසා දෙදෙනම සෝවාන් ඵලයට පැමිණියෝය.

(ධම්මපදට්ඨකථා 495)

පුණ්ණහට සුළුදානයේ විපාකය එකණෙහි මෙ තරම් විශාල අන්දමට ලැබුණේ සැරියුත් මාහිමියන්ගේ ගුණසම්පත්තිය නිසා ය. දායකයනට එසේ ඵල ලබාදීමට සමත් බැවින් සැරියුත් මාහිමියෝ අග්‍රදක්ෂිණාර්හ වෙති. අග්‍රදක්ෂිණාර්හ ක්ෂීණාශ්‍රාවයන්ට දීමෙන් වුවද, සැම කල්හිදෘෂ්ටධර්මයෙහි විපාක නො ලැබේ. ඒ ආත්මයේදීම දානයේ විපාක ලැබෙන්නට දානය කරුණු සතරකින් යුත්ත විය යුතුය.

“චතස්සො හි සම්පදා නාම වත්ථුසම්පදා, පච්චය සම්පදා, චේතනාසම්පදා, ගුණාතිරෙක සම්පදාති.

තත්ථ නිරෝධසමාපත්තිතෝ වුට්ඨිතො අරහා වා අනාගාමි වා දක්ඛිණෙය්‍යො වත්ථුසම්පදා නාම.

පච්චයානං ධම්මේන සමෙන උප්පත්ති පච්චය සම්පදා නාම.

දානතො පුබ්බේ දානකාලෙ පච්ඡාභාගෙති තිසූ කාලෙසු චේතනාය සෝමනස්සසහගත ඤාණසම්පයුක්තභාවො චේතනාසම්පදා නාම.

දක්ඛිණෙය්‍යොනං සමාපත්තිතො වුට්ඨීතභාවෝ ගුණාතිරෙක සම්පදා නාම. -පෙ-එතාසං අනුභාවෙන දිට්ඨෙව ධම්මේ මහා සම්පත්තිං පාපුණන්ති.”

(ධම්මපදට්ඨකථා 291)

“වස්තුසම්පත්තිය ප්‍රත්‍යසම්පත්තිය චේතනාසම්පත්තිය ගුණාතිරේක සම්පත්ති යයි සම්පත්ති සතරෙකි. නිරෝධසමාපත්තියෙන් නැගී සිටි අර්හත් වූ හෝ අනාගාමී වූ හෝ ප්‍රතිග්‍රාහකයා වස්තු සම්පත්තිය ය. දාන වස්තුව දැහැමින් ලද දෙයක් වීම ප්‍රත්‍ය සම්පත්තිය ය. දීමට පළමුවය, දෙන අවස්ථාවය, දීමෙන් පසුවය යන තුන් කාලයෙහිම චේතනාව සෝමනස්ස සහගත ඥාණසම්ප්‍රයුක්තවීම චේතනා සම්පත්තියය. ප්‍රතිග්‍රාහකයා නිරෝධ සමාපත්තියෙන් නැඟී සිටියකු වීම ගුණාතිරේක සම්පත්තියය. මේ සම්පත්තීන්ගේ ආනුභාවයෙන් දායකයෝ ඉහාත්මයේදීම මහා සම්පත්තියට පැමිණෙත්” යනු ඉහත දැක්වූ පාඨයේ තේරුම ය.

මේ කරුණු සතරින් යුක්ත කොට දානයක් දෙන්නට ලැබෙන්නේ කලාතුරකිනි. වර්තමාන කාලයේ නම් එබඳු දානයක් දෙන්නට ලැබෙන්නේම නැත. අනාගාමීන්ට දීමෙනුත් වර්තමාන භවයේ ඵල ලැබෙන බව ඉහත දැක්වූ පාඨයෙන් කියැවෙන නමුත් අනාගාමී පුද්ගලයන්ට දන් දී ඉහාත්මයෙහි ම විපාක ලැබූ අය පිළිබඳ කථා ප්‍රවෘත්ති නො දක්නා ලැබේ.

හිසකේ විකුණා දන් දුන් කාන්තාවක්

මහාකච්චාන මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේ සත් නමක් හා උජ්ජේනි නුවරට වඩනා සේක්, “තේලප්පනාළි” නම් නියම් ගමකට පිඬුසිඟා වැඩි සේක. එගම සිටු දූවරු දෙදෙනෙක් වූහ. එකියක් පිරිහුණු සිටුපවුලක උපත ලබා මාපියන්ගේ ඇවෑමෙන් පසු කිරි මවකගේ උපකාරයෙන් ජීවත් වන දිළිඳු තරුණියකි. ඇගේ ශරීරය හොඳින් වැඩී තිබිණ. ඇගේ හිසකේ අන්‍යයන්ගේ හිසකෙස්වලට වඩා දික් විය. අනික් සිටුදුව මඳ කෙස් ඇතියකි. ඕ දුප්පත් තරුණියගේ හිසකේ ටික මිළයට ගැනීම සඳහා දහසකට වුවද ගනිමි යි කියා දූතයන් එවුවා ය. එහෙත් දිළිඳු සිටුදුව තමාගේ හිසකේ නො වික්කාය. ඕ තෙමෝ එදා භික්ෂූන් සත් නමක් හා හිස් පාත්‍ර ඇතිව වඩනා මහාකච්චාන තෙරුන් වහන්සේ දැක “රන්වන් සිරුර ඇති බ්‍රාහ්මණ භික්ෂුවක් හිස් වූ පාත්‍රය ඇති ව වැඩම කරන්නේය, මුන් වහන්සේට සංග්‍රහ කිරීමට මට කිසි ධනයක් නැත. අසවල් ගෙදර සිටුදුව මාගේ හිසකේ මිළයට ගැනීමට දූතයන් එවන්නීය, මාගේ මේ හිස කෙස් ටික කපා ඇය වෙත යවා එයින් ලැබෙන මිළයෙන් මුන්වහන්සේට දන් දිය හැකිය”යි සිතා කිරිමව යවා ආරාධනා කරවා සිය නිවසට තෙරුන් වහන්සේ වැඩමවා ගත්තාය. උන්වහන්සේලාට වැඩ සිටීමට අසුන් පනවා දී ඕ කාමරයකට පිවිස කිරිමව ලවා තමාගේ කෙස් කළඹ කපවා “මෑණියෙනි, මේ කෙස් අසවල් සිටුදුවට දී ආර්‍ය්‍යයන් වහන්සේට දන්දීම සඳහා ඇය දෙන දෙයක් ගෙනෙනු මැනව”යි කීවා ය. කිරිමව මහත් ශෝකයෙන් එක් අතකින් කඳුළු පිසමින් අනික් අත පපුවෙහි තබා ගෙන තෙරුන් වහන්සේලාට නො පෙනෙන සේ කෙස් කළඹ ගෙන සිටුදූ වෙත ගියාය. වෙළඳ බඩුව කොතෙක් අගය ඇතියක් වුවද විකුණා ගැනීමට වුවමනා වී අනිකකු වෙත ගෙන ගිය හොත් එහි අගය අඩු වේ. ඇගේ කෙස් කළඹටත් එය සිදුවිය. පොහොසත් සිටුදුව සිතන්නී “කලින් මේ කෙස් කළඹ දහසකින් ද ගෙන්වා ගත නො හැකි විය. යම්කිසි තැනකට ගෙනෙන ලද ජීව කේශ කලාපයක් වටින්නේ කහවණු අටකි”යි සිතා කිරිමව අමතා “තිගේ ස්වාමිදූ මේ කෙස් කලින් මට බොහෝ ධනයටත් නුදුන්නීය. කැපීමෙන් පසු දැන් මේවා වටින්නේ කහවණු අටක් පමණකි. ඒ නිසා මේ කහවණු අට ගනුව”යි කියා අටකහවණුවක් දුන්නීය. කිරිමව කහවණු ගෙනවුත් සිටුදුවට දුන්නීය. සිටු දූ එක් එක් නමකට කහවණුවක් අගනා පරිදි පිණ්ඩපාතය පිළියෙල කරවා තෙරුන් වහන්සේලාට දෙවුවාය. තෙරුන් වහන්සේ ඒ දානය දෙවූ සිටුදුවගේ උපනිඃශ්‍රය සම්පත්තිය දැක “සිටුදූ කොහිදැ”යි විචාළහ. “ස්වාමීනි, කාමරයේය”යි කිරිමව කීවා ය. “ඇය කැඳවන්න”යයි තෙරුන් වහන්සේ කීහ. හිසකේ නැතිව කෙනකු ඉදිරියේ පෙනී සිටීමට තරුණ කතකට මහත් ලජ්ජාවක් ඇත ද ඕ තෙරුන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් එක් වචනයටම ගැබින් නික්ම අවුත් තෙරුන් වහන්සේලාගේ පා වැඳ මහත් වූ ශ්‍රද්ධාවක් ඇතිකර ගත්තා ය. ඒ තෙරුන් වහන්සේලා සැම දෙනම රහතන් වහන්සේලා ය. යහපත් පින් කෙතෙහි පිහිට වූ පිණ්ඩපාතයේ විපාක ඒ භවයේදීම ලැබෙන්නේය. තෙරුන් වහන්සේලාගේ පා වඳිනු සමගම ඇගේ හිසකේ පළමු තුබූ පරිදිම විය. ඉක්බිති තෙරුන් වහන්සේලා ඇය බලා සිටියදීම අහසට නැඟ ගොස් උජ්ජේනි පුරයේ චණ්ඩප්පජ්ජෝත රජුගේ කඤ්චන වන නම් උයනෙහි බැස ආහාර වැළඳූහ. උයන් ගොව්වා තෙරුන් වහන්සේ දැක හැඳින වහා රජු වෙත ගොස් “දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ පුරෝහිත කච්චාන බ්‍රාහ්මණ පැවිදිව දැන් උයනට පැමිණ ඇතැ”යි දැන්වීය. රජු ඉමහත් සතුටට පැමිණ එකෙණෙහි උයනට ගියේය. ඉක්බිති තෙරුන් වහන්සේ වැඳ “භාග්‍යවතුන් වහන්සේ කොහිදැ”යි ඇසීය. “මහරජ තථාගතයන් වහන්සේ තමන් වහන්සේ නො වැඩ මා මෙහි එවූ සේකැ”යි තෙරුන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, අද අහර වැළඳූ සේක්දැ”යි රජු විචාළේය. එකල්හි තෙරුන් වහන්සේ වළඳා අවසන් වී ඇති බවත් එදා පිණ්ඩපාතය දුන් සිටු දුවගේ පුවතත් රජුට කීහ. රජතුමා තෙරුන් වහන්සේලාට වාසස්ථාන පිළියෙල කරවා පෙරළා ගොස් සිටු කුමරිය ගෙන්වා අගමෙහෙසුන් තන්හි තබා ගත්තේය. රහතන් වහන්සේ කෙරෙහි පිරි නැමූ දානයේ විපාක ඇයට එසේ ඒ ආත්මභාවයේදී ම ලැබුනේ රහතන් වහන්සේලාගේ ගුණස්කන්ධයේ මහත්වය නිසා ය. දන් දුන්නවුන්ට එකෙණෙහි ම ඵල ලැබීමට හේතුවන ගුණස්කන්ධයක් ඇති බැවින් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා අග්‍රදක්ෂිණාර්හයෝය.

අන්නභාර දුගියාගේ කථාව

පසේ බුදුවරයකුගේ දක්ෂිණාව මහත්ඵල කිරීමේ බලය අග්ගදක්ඛිණෙය්‍ය නාමය දරන මහරහතුන්ගේ දක්ෂිණාව මහත්ඵල කිරීමේ බලයට වඩා සිය ගුණයෙන් වැඩි බව වේලාම සූත්‍රය අනුව කිය යුතුය. පසේ බුදුවරුන්ගේ දක්ෂිණාර්හභාවයට නිදසුනක් වශයෙන් අන්නභාර නමැති දුගියාගේ කථාව දැක්වීම සුදුසුය.

ඒ මෙසේය:-

අතීතයේ බරණැස් නුවර සුමන නම් සිටුවරයෙක් විය. ඔහු දිනපතා දුගී මගී යාචකාදීන්ට මහා දානයන් දෙයි. ඔහු ඇසුරු කර ජීවත් වන අන්නභාර නම් දුගියෙක් විය. පසේ බුදුහු විශේෂයෙන් දුගියන්ට අනුකම්පා කරන්නෝය. එක් දවසක් උපරිට්ඨ නම් පසේබුදුන් වහන්සේ ගන්ධමාදන පර්වතයෙහි නිරෝධ සමාපත්තියට සමවැදී සිට ඉන් නැඟිට අනුග්‍රහ කළ යුත්තකු විමසන්නාහු අන්නභාර නම් දුගියා දැක ඔහුට අනුග්‍රහ කරනු පිණිස ඔහු වනයෙහි සිට සිය නිවසට එන වේලාවෙහි පා සිවුරු ගෙන අහසින් වැඩම කර ග්‍රාමද්වාරයෙහි අන්නභාර එන පෙරමග සිටි සේක. දුගී අන්නභාර හිස් පාත්‍රයෙන් සිටි පසේබුදුන් දැක, උන්වහන්සේට වැඳ “ස්වාමීනි, භික්ෂාව ලද සේක් දැ”යි විචාළේ ය. “ලබන්නෙමි, මහපිනැතිය”යි පසේ බුදුහු වදාළහ. එකල්හි අන්නභාර “ස්වාමීනි, මොහොතකට මෙහිම වැඩ සිටිනු මැනව”යි කියා වේගයෙන් ගෙට ගොස් බිරිය අමතා “මගේ බත් පංගුව ඇතිදැ”යි අසා “ඇතැය”යි කී කල්හි වහා ගොස් පසේබුදුන් වහන්සේගේ පාත්‍රය ගෙනවුත් භාර්යාව අමතා: “සොඳුර, අපට පෙර පින් මඳ බවින් දිළිඳුව සිටින්නට වී ඇත. අපට දෙනු කැමැත්ත ඇතිවූ දාට දෙන්නට දෙයක් නැති වෙයි. දෙන්නට දෙයක් ඇති දාට ප්‍රතිග්‍රාහකයකු නොලැබෙයි, අද මට උපරිට්ඨ පසේ බුදුන් වහන්සේ හමුවූහ. මාගේ බත් පංගුව මේ පාත්‍රයට බෙදා දෙව”යි කීය. නුවණැති බිරිය “සිය සැමියාගේ දානයට තමා ද කොටස් කාරියක විය යුතුය”යි සිතා තමාගේ බත් පංගුවද ඒ පාත්‍රයට බෙදා දුන්නී ය. අන්නභාර පසේ බුදුන් වහන්සේ වෙත පාත්‍රය ගෙන ගොස් පිළිගන්වා “ස්වාමීනි, මේ පිනෙන් මම මේ දුප්පත් ජීවිකාවෙන් මිදෙම්වා”යි කීය. “පින්වත එසේම වේවා”යි පසේ බුදුන් වහන්සේ වදාළහ. ඉක්බිති අන්නභාර ඔහුගේ උතුරු සළුව බිම අතුරා, “මෙහි වැඩසිට වළඳනු මැනව”යි කීය. පසේ බුදුන් වහන්සේ එහි වැඩසිට ආහාර වැළඳූ සේක. දන් වැළදූ පසු අන්නභාර පසේ බුදුන් වහන්සේට පාත්‍රය සෝදා ගැනීමට වතුර ද සපයා දිණ. අවසානයේ පසේබුදුන් වහන්සේ පසේ බුදුවරුන්ගේ සිරිත පරිදි

“ඉච්ඡිතං පත්ථිතං තුය්හං - ඛිප්පමෙව සමිජ්ඣතු,
සබ්බේ පූරෙන්තු සංකප්පා - චන්දො පණ්ණරසී යථා”

යි අනුමෝදනා කොට මඟට පිළිපන් සේක. එකල්හි සුමන සිටුගේ ඡත්‍රයෙහි වෙසෙන දෙවියා ඒ දානය දැක,

“අහෝ දානං පරමදානං උපරිට්ඨෙ සුප්පතිට්ඨිතං - යි තුන්වරක් කියා සාධුකාර දිණ. එකල්හි සුමන සිටු ඔහුගේ සාධුකාරය තමාගේ දානය ගැන දුන් සාධු කාරයකැයි සිතා “කිමෙක් ද මෙතෙක් කල් මා දන් දෙනවා නුඹ නුදුටුවෙහි දැ”යි කී ය. “සිටුතුමනි, මම ඔබගේ දානයට සාධුකාර දුන්නේ නො වෙමි. අන්නභාර විසින් උපරිට්ඨ පසේබුදුන්ට දුන් දානයට පැහැදී සාධුකාර දුනිමි”යි දෙවියා කී ය. එබස් අසා සුමනසිටු “මෙය කොතරම් පුදුමයක් ද මෙතෙක් දන් දුන් මට එක දවසකුදු දෙවියන් ලවා සාධුකාර දෙවන්නට නො පිළිවන් විය. මා නිසා ජීවත් වන මේ අන්නභාරට සුදුසු ප්‍රතිග්‍රාහකයකු ලැබීමෙන් එක් පිණ්ඩපාත දානයකින්ම දෙවියන් ලවා සාධුකාර දිවිය හැකි විය. දෙවියන් පවා සාධුකාර දුන් ඒ දානය එසේ මෙසේ එකක් නො විය හැකිය. එය මහ පිනක් විය යුතුය. සුදුසු දෙයක් කොට අන්නභාර සතුටු කරවා ඒ දානයත් මා අයත් කර ගත යුතුය”යි සිතුවේ ය. “අහෝ! තණ්හාවක සැටි” අපමණ සම්පත් ඇතුව සිට බොහෝ පින් කරමින් සිට ඒවා මදි වී දුප්පතාගේ පිනත් අයත් කර ගන්නට මේ සිටුතුමා සිතී ය.

ඉක්බිති සිටුතුමා අන්නභාර ගෙන්වා, “අද නුඹ යම් කිසිවකුට දානය දුන්නෙහි දැ”යි ඇසිය. “මම අද උපරිට්ඨ පසේබුදුන් වහන්සේට මාගේ බත් පංගුව දුනිමි”යි කීය. පින් මිළයට ගැනීමේ විකිණීමේ සිරිතක් පෙර ලොව පැවතිණ. දැනුදු ඇතැම් පෙදෙස්වල ඒ සිරිත පවතිනවා විය හැකිය. ඒ සිරිත පරිදි සිටුතුමා “නුඹ දුන් දානය කහවණුවක් ගෙන මට දෙව”යි කී ය. අන්නභාර “නොදෙමි”යි කීය. සිටුතුමා ක්‍රමයෙන් මිළ වැඩි කොට ඉල්ලී ය. දහසකටද නො දෙන බව අන්නභාර කී ය. එසේ නම් දහසක් ගෙන මට පින් දෙව” යි සිටුතුමා කී ය. “එසේ කිරීමත් සුදුසුද නුසුදුසු ද කියා මම නො දනිමි. පසේ බුදුන් වහන්සේගෙන් අසා, එසේ කිරීම සුදුසු නම් පින් දෙමි”යි සිතා ඔහු පසේ බුදුන් වහන්සේ වෙත ගොස් වැඳ “ස්වාමීනි, සුමනසිටු නුඹවහන්සේට දුන් දානයේ පින් දහසක් දී මගෙන් ඉල්ලයි, ඔහුට පින් දෙම් ද නො දෙම් දැ”යි විචාළේය. එකල්හි පසේබුදුන් වහන්සේ වදාරන සේක් “පින්වත, නුඹට උපමාවක් කියමි, ගෙවල් සියයක් ඇති ගමෙක එක් ගෙයක පහනක් දැල්වෙයි, සෙස්සෝ තෙල් ගැල්වූ පහන්තිර ගෙනවුත් ඒ පහනෙන් දල්වා ගෙන යති, කිමෙක්ද? එයින් පළමු පහනේ එළිය ඇතිවේ ද, නැතිවේ දැ ?”යි වදාළසේක. අන්නභාර, “හිමියනි පළමු පහනේ එළිය තිබුණාටත් වඩා වැඩිවේ ය”යි කී ය. “පින්වත එමෙන් කැඳ සැන්දක් බත් සැන්දක් වුවද දී එයින් ලැබෙන පින අනුන්ට දුනහොත් එයින් තමාගේ පින වැඩෙන්නේය, නුඹ එක පිණ්ඩපාතයක් දුන්නෙහිය, සුමන සිටුට පින් දෙන කල්හි පිණ්ඩපාත දාන දෙකක් වන්නේය. ඉන් එකක් සුමන සිටුට හිමි වේ. අනික නුඹටම හිමි වේ.

හෙතෙමේ පසේ බුදුන් වැඳ සුමන සිටු වෙත ගොස් “පිණ්ඩපාත දානයේ පින් ගනු මැනව”යි කීය. “එසේ නම් කහවණු දහස ගන්න”යි සුමන සිටු කී ය. “මම පිණ්ඩපාතය නො විකුණමි. ඔබට සැදැහැයෙන් පින් දෙමි”යි අන්නභාර කී ය. “පින්වත, නුඹ මට සැදැහැයෙන් පින් දෙව, මම ඔබගේ ගුණයට පූජාවක් වශයෙන් දහසක් දෙමි, එය ගනු මැනව”යි සුමන සිටු කී ය. “එසේ වේවා” කියා අන්නභාර කහවණු දහස පිළිගත්තේ ය. ඉක්බිති සුමන සිටු “පින්වත, දැන් නුඹට මහන්සි වී වැඩ කරන්නට උවමනා නැත. වීදියේ ගෙයක් සාදා ගෙන සුවසේ වැසය කරව, එසේ වෙසෙන කල්හි නුඹට යම් අඩුවක් වුවහොත් එය මගෙන් ගනුව”යි කී ය.

සුමන සිටු රාජ සේවයට ද යන්නේ ය. රජගෙට යන කල්හි වෙනදා සුමන සිටු අන්නභාර කැඳවා ගෙන නො යන මුත් එදින අන්නභාරද කැඳවා ගෙන රජු වෙත ගියේ ය. අන්නභාරගේ පින් බලය නිසා එදා රජු සිටු දෙස නොබලා අන්නභාර දෙසම බැලූවේ ය. “දේවයන් වහන්ස, නුඹවහන්සේ මේ මිනිසා දෙස මෙතරම් බලන්නේ කිම්දැ”යි සිටු කී ය, “මොහු පෙර දැක නැති බැවිනැ”යි රජු කීය. දේවයන් වහන්ස, මේ මිනිසා බැලිය යුත්තෙක්ම ය”යි සිටු කීය. “බැලීමට තරම් වන මොහුගේ ගුණය කවරේ දැ”යි රජු කී ය. “මහරජාණෙනි, මොහු අද තමාගේ බත් පංගුව තමා නො කා උපරිට්ඨ පසේබුදුන්ට දුන් බැවින් මගෙන් කහවණු දහසක් පූජා ලැබීය”යි සිටු කී ය. “මොහුගේ නම කුමක් ද?” “මොහුගේ නම අන්නභාර ය”යි සිටු කීය. “නුඹේ අතින් මොහු දහසක් ලද නිසා මගෙන් ද දහසක් ලැබීමට නිසි ය. මම ද මොහුට පූජාවක් කරමි”යි කියා රජුද ඔහුට දහසක් දිණ.

ඉක්බිති රජතුමා ඔහුට ගෙයක් සාදා දීමට නියම කෙළෙන් මිනිස්සු ඔහු උදෙසා බිමක් ශුද්ධ කරන්නට පටන් ගත්හ. එහි උදලු පහර ගසන ගසන තැන නිදන් සැළි විය. ඒ බව රජුට දැන්වූ කල්හි රජතුමා ඒ නිදන් සාරා ගොඩ ගන්නට අණ කළේ ය. සාරත් සාරත් නිධාන පොළොවෙහි ගැලෙන්නට විය. එකකුදු මතු කළ නො හැකි විය. ඒ බව රජුට දැන්වූ කල්හි රජතුමා “එසේ නම් අන්නභාරගේ වචනයෙන් සාරව්”ය යි කී ය. “අන්නභාරගේ වචනයෙන්ය” කියා සාරන්නට පටන් ගත් කල්හි උදලු පහර දෙන දෙන තැන හතු පිපෙන්නාක් මෙන් නිදන් මතු වන්නට විය. ඒ ධනරාශිය ගෙනැවිත් රජු සමීපයේ ගොඩ ගැසූහ. රජතුමා ඇමතියන් රැස් කරවා “මේ නුවර මෙතෙක් ධනය අනිකකුට ඇති දැ”යි විචාළේ ය. “නැත දේවයන් වහන්සය”යි ඇමතියෝ කීහ. එසේ නම් “අන්නභාර මේ නුවර ධනසිටු වේවා ”යි කියා ඔහුට රජතුමා සිටු තනතුර දුන්නේ ය. ඔහු එතැන් පටන් නොයෙක් පින්කම් කොට මරණින් මතු දෙව්ලොව උපන්නේ ය.

(මනෝරථපූරණි 105)

යමෙක් තමාගේ ආහාරය තමා අනුභව නො කොට නිතර අනුන්ට දෙයි නම් එය මහ ගුණයකි. දුෂ්කර වැඩකි. මුළු ජීවිත කාලයටම එක් වරක් තමාගේ බත් පංගුව දීම ලොකු වැඩක් නො වේ. එක බත් වේලක් දීම මහ දෙයක් කෙළේ ය කියා පූජා සත්කාර කිරීමට තනතුරු දීමට තරම් කරුණක් නො වේ. සිටුතුමාගේ හා රජතුමාගේ සිත් අන්නභාරට පූජා සත්කාර කිරීමට තනතුරු දීමට තරම් කරුණක් නො වේ. සිටුතුමාගේ හා රජතුමාගේ සිත් අන්නභාරයට පූජා සත්කාර කිරීමට තනතුරු දීමට නැමුණේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි පසේබුදුන් වහන්සේට පිණ්ඩපාතය පිරිනැමීමෙන් වූ කුශල බලය නිසා ය. ඔහුට පිණ්ඩපාත දානය ඉහාත්මයේදී ම විපාක දෙන කුශලයක් වූයේ පසේ බුදුන් වහන්සේගේ ගුණ සම්පත්තිය නිසාය. සාමාන්‍ය පුද්ගලයන්ට එබඳු පිණ්ඩපාත දානයන් දහස්වර දසදහස්වර දුන ද ඒවායින් ඉහාත්මයේ විපාකයක් නො ලැබේ. අන්නභාර හැර පසේබුදුවරුන්ට සුළු දේවල් පුදා මහත් මහත් සම්පත් ලැබූ තවත් බොහෝ දෙනෙකුන්ගේ කතා පුවත් බෞද්ධ සාහිත්‍යයෙහි දක්නා ලැබේ.

ලොවුතුරා බුදුන්ගේ දක්ෂිණාර්හ භාවය

අරහං යන පදයෙන් විශේෂ කොට කියන ලොවුතුරා බුදුවරුන්ගේ දක්ෂිණාර්හ භාවය, පසේ බුදුවරුන්ගේ බුද්ධ ශ්‍රාවකයන්ගේ දක්ෂිණාර්හ භාවයට බොහෝ උසස් ය. එය දක්ඛිණෙය්‍ය යන වචනයෙන් නො කියා අරහං යි විශේෂ වචනයකින් කියන්නේ ඒ නිසා ය. ඒ අරහං ගුණය සාමාන්‍ය මනුෂ්‍ය දිව්‍ය සම්පත් පමණක් නොව පූජා සත්කාර කරනුවන්ට ලොවුතුරා බුදුබව පසේ බුදුබව අග්‍රශ්‍රාවක බව මහා ශ්‍රාවක බව මහරහත් බව බුද්ධශ්‍රාවකයන් අතර ඒ ඒ කරුණෙන් අග්‍රබව යන මේවා ද ලබා දීමට සමත් ය.

ලොවුතුරා බුදුබව ලැබීමට නම් ජීවමාන ලොවුතුරා බුදුකෙනෙකුන්ට පූජා සත්කාර කොට ජීවමාන බුදු කෙනෙකුන් හමුවේම ඒ උත්තම තත්ත්වය පැතිය යුතු ය. බුදුන් පිරිනිවීමෙන් පසු චෛත්‍යයන් සමීපයේ හෝ බෝධි සමීපයේ හෝ බුද්ධ ප්‍රතිමා සමීපයේ හෝ ප්‍රත්‍යෙකබුද්ධ බුද්ධ ශ්‍රාවකයන් හමුවේ හෝ පතා බුදුබව නො ලද හැකි ය.

“සචෙ ජීවමානක බුද්ධස්සෙ’ව සන්තිකෙ පත්ථෙති පත්ථනා සමිජ්ඣති, පරිබ්බුතෙ භගවති චේතිය සත්තිකෙ වා බොධිරුක්ඛමූලෙ වා පටිමාය වා පච්චේකබුද්ධ බුද්ධසාවකානං වා සන්තිකෙ පත්ථනා න සමිජ්ඣති.”

(බුද්ධවංසට්ඨකථා 75)

චෛත්‍යාදියට පූජා පවත්වා ලොවුතුරා බුදුබව පැතීම නිෂ්ඵලය යි ද නො කිය යුතු ය. ඒ පින් ද ලොවුතුරා බුදුබව ලැබීමට උපනිඃශ්‍රය වේ. ඉහත දැක්වූ පාඨයෙන් දක්වන්නේ ලොවුතුරා බුදුවරුන් හමුවෙහි ප්‍රර්ථනාවක් නැතිව චෛත්‍යාදියෙහි පූජා පවත්වා කරන ප්‍රාර්ථනාවෙන් ම බුදුබව නො ලද හැකි බව ය. ජීවමාන ලොවුතුරා බුදුකෙනෙකුන්ට පූජාවක් කොට බුදුබව පතා නියත විවරණය ලබාගත් පින්වතාට ඔහු කරන සියලුම පින් ලොවුතුරා බුදුබව ලැබීමට උපනිඃශ්‍රය වේ.

සුමේධ පණ්ඩිතයන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩම කරනු පිණිස මඩගොහොරුවක හෙව තමන්ගේ ශරීරය ඒදණ්ඩක් කොට පුදා ඒ බුදුරදුන් හමුවෙහි ලොවුතුරා බුදුබව පැතූහ. ලොවුතුරා බුදු කෙනකුන් හමුවෙහි වුව ද බුදුබව පතන සැම දෙනාටම ප්‍රර්ථනාව සිදුවන්නේ නො වේ. එය සිදුවන්නේ කරුණු අටක් සම්පූර්ණ වුවහොත් ය. සුමේධ පණ්ඩිතයන්ට එදා ඒ කරුණු අට සම්පූර්ණව තිබිණ. එබැවින් එතුමන්ගේ ඒ පූජාව ඒකාන්තයෙන්ම ලොවුතුරා බුදුබව ලබාදීමට සමත් පිනක් විය. ලොවුතුරා බුදුවරයෝ යමකු තමන් වහන්සේ ඉදිරියේ බුදුබව පතා සිටියහොත් ඔහුට එය සිදුවන්නේ දැ යි අනාගතංශඥානයෙන් බලා වදාරා ඉදින් සිදුවන්නේ නම් ඒ බව ප්‍රකාශ කරන සේක. සුමේධ තාපසයන්ගේ ප්‍රාර්ථනාව සිදුවන බව දුටු දිවකුරු බුදුරජාණන් වහන්සේ:-

“පස්සථ ඉමං තාපසං - ජටිලං උග්ගතාපනං
අපරිමෙය්‍යෙ ඉතො කප්පෙ - බුද්ධො ලොකෙ භවිස්සති”

(බුද්ධවංස)

යනුවෙන් බුදුබව පතා සිටින මේ තවුසා අනාගතයෙහි බුදුකෙනෙක් වන්නේය යි ප්‍රකාශ කළ සේක. ලොවුතුරා බුදුකෙනෙකුන් විසින් එය ප්‍රකාශ කිරීමට, විවරණ දීමය යි කියනු ලැබේ. ලොවුතුරා බුදු කෙනෙකුගෙන් විවරණ ලැබූ මතු ඒකාන්තයෙන් බුදුවන්නාවූ උත්තම පුද්ගලයෝ බෝධිසත්ත්ව නම් වෙති. බෝධිසත්ත යන වචනය තේරුම් කර ඇත්තේ මෙසේ ය.

“බොධීති ඤාණං, බොධියා සත්තො බොධිසත්තො, ඤාණා වා පඤ්ඤා වා පණ්ඩිතො ති අත්ථො, පුරිමබුද්ධානං හි පාදමුලෙ අභිනීහාරතො පට්ඨාය පණ්ඩිතො’ව සො සත්තො න අන්ධබාලොති බොධිසත්තො, යථා වා උදකතො උග්ගන්ත්වා ඨීතං පරිපාකගතං පදුමං සූරියරස්මි සම්ඵස්සේන අවස්සං බුජඣිස්සති ති බුජ්ඣනක පදුමන්ති වුච්චති, එවං බුද්ධානං සන්තිකෙ බ්‍යාකරණස්ස ලද්ධත්තා අවස්සං අනන්තරායෙන පාරමියො පූරෙත්වා බුජ්ඣිස්සතීති බුජ්ඣනක සත්තොති පි බොධිසත්තො.”

(සංයුත්තනිකායට්ඨ කථා දු. භා. 16)

මේ අටුවා පාඨයෙන් කියැවෙන්නේ ද ලොවුතුරා බුදුකෙනෙකුන්ගෙන් නියත විවරණය ලබා ඇති මතු ඒකාන්තයෙන් පෙරුම් පුරා බුදුබව ලබන තැනැත්තා බෝධිසත්ත්ව නම් වන බව ය. බෝධිසත්ත, බෝසත් යන මේ අත්‍යුත්තම නාමය සම්බෝධියට පැමිණීමෙහි නියත බවක් නැති සාමාන්‍ය පුද්ගලයන්ට ආරූඪ කිරීමත්, ඒ නම සාමාන්‍ය පුද්ගලයන් විසින් තමාට ආරූඪකර ගැනීමත් ඒ උත්තම නාමය කිළිටි කිරීමක් නො වේ දැයි සිතා බැලිය යුතු ය.

පසේ බුදුවරුන් හමුවෙහි රහතුන් හමුවෙහි ප්‍රාර්ථනා කොට ද පසේ බුදුබව ලැබිය හැකි බව කියා තිබේ. අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක බව බුදු පසේබුදු, රහතන් හමුවෙහි ප්‍රාර්ථනා නොකළද ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කිරීමය, බලවත් ඕනෑකමය යන මේ දෙක ඇති කල්හි ලැබිය හැකි බව කියා තිබේ. එහෙත් අග්‍රශ්‍රාවක මහාශ්‍රාවකයන්ගේ චරිත කථා වලින් පෙනෙන්නේ උන්වහන්සේලා ද ලොවුතුරා බුදුවරුන්ට පූජා සත්කාර කොට ලොවුතුරා බුදුවරුන් හමුවේම ප්‍රර්ථනා කොට ඒ තත්ත්වවලට පැමිණි බව ය.

අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රර්ථනාව

මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සැරියුත් මහතෙරණුවෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි උපන්හ. සරද යනු ඔහුගේ නම විය. මුගලන් මහා තෙරණුවෝ ගෘහපති මහාසාර කුලයෙහි උපන්හ. ඔහු සිරිවඩ්ඪ නම් විය. ඔවුන් දෙදෙනා බාලකාලයේ පටන් මිතුරෝ වූහ. සරද මානවක තෙමේ පියාගේ ඇවෑමෙන් තමාට හිමි වූ මහා ධනස්කන්ධය පරිහරණය කරමින් සිටිනුයේ එක් දිනක් මෙසේ සිතුවේ ය. “මම මෙලොව පමණක් දනිමි, පරලොව නො දනිමි, උපන් සත්වයනට මරණය නියතය, එබැවින් මා පැවිදිව මෝක්ෂය සෙවිය යුතු ය.” ඉක්බිති ඔහු තමාගේ මිතුරා වන සිරිවඩ්ඪ කෙළෙඹි වෙත ගොස් “මිත්‍රය, මම පැවිදිව මෝක්ෂය සොයන්නට බලාපොරොත්තු වෙමි. ඔබට මා හා පැවිදි විය හැකිදැ”යි ඇසී ය. “මිත්‍රය, මට නම් එය නො කළ හැකිය. ඔබ පැවිදි වන්නය”යි සිරිවඩ්ඪ කී ය. එකල්හි සරද මානවක තෙමේ “නෑ - මිතුරන් ද කැඳවා ගෙන ඔවුන් සමඟ පරලොව ගිය කෙනෙක් නැත, තමා යමක් කළහොත් එය තමාට වේය”යි සිතා තමා අයත් සියලු ධනය දුගී මගී යාචකාදීන්ට දන් දී පර්වතයක් සමීපයට ගොස් සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව භාවනාවෙහි යෙදෙන්නට විය. ඔහු පැවිදි වූ බව ඇසූ දුටු බොහෝ දෙනෙක් ද, වරින් වර එහි ගොස් ඔහුගේ ආචාර්යත්වයෙන් පැවිදි වූහ. එසේ පැවිදිවූ ඔහුගේ ශිෂ්‍ය පිරිස සැත්තෑසතරදහසක් විය. සරද තාපස තෙමේ භාවනා කොට පඤ්චාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ගෙන සිය පිරිස ද කසිණ භාවනාවෙහි යෙදවූයේ ය. සරද තාපසයන්ගේ අනුශාසනය පරිදි භාවනාවෙහි යෙදී ඒ සැමදෙනම ද පඤ්චාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ගත්හ.

එකල්හි අනෝමදස්සි නම්වූ බුදුන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේ වැඩ විසූ නගරය චන්දවතී නම් විය. යසවන්ත නම් ක්‍ෂත්‍රියෝ උන් වහන්සේට පියවූහ. යසෝධරා නම් දේවිය මෑණියෝ වූහ. කුඹුක්රුක බෝධිය විය. නිසභ ස්ථවිරයෝය, අනෝම ස්ථවිරයෝය යන දෙනම අග්‍රශ්‍රාවකයෝ වූහ. වරුණ ස්ථවිරයෝ උපස්ථායක වූහ. සුන්දරා, සුමනා, යන ස්ථවිරීන් දෙදෙනා අග්‍රශ්‍රාවිකාවෝ වූහ. උන්වහන්සේගේ ආයුෂ වර්ෂ ලක්ෂයක් විය. උන්වහන්සේගේ ශ්‍රී දේහය අටපනස් රියනක් විය. උන්වහන්සේගේ ශරීරාලෝකය දොළොස් යොදුනක් පැතිරියේ ය. පිරිවර භික්ෂූහු ලක්ෂයක් වූහ.

එක් දවසක් අනෝමදස්සී තථාගතයන් වහන්සේ බලවත් උදෑසන කාලයේ කුළුණු සමවතින් නැගිට ලොව බලා වදාරන සේක්, සරද තාපස දැක, “අද මා විසින් සරද තාපසයන් කරා යාමෙන් මහත් වූ ධර්ම දේශනයක් වන්නේය. ඔහු ද අගසව් තනතුර පතන්නේය. ඔහුගේ යහළු සිරිවඩ්ඪ කෙළෙඹි දෙවන අගසව් තනතුර පතන්නේය. දේශනාවසානයෙහි සරද තාපසගේ සැත්තෑසතරදහසක් ශිෂ්‍යයෝ අර්හත්වයට පැමිණෙන්නාහ”යි ද දැක වදාරා, මා විසින් එහි යා යුතුය යි තමන් වහන්සේගේ පාසිවුරු ගෙන අන් කිසිවකු නො අමතා එකලාව හැසිරෙන සිංහරාජයකු මෙන් සරද තාපසගේ ශිෂ්‍යයන් ඵලාඵල පිණිස වනයට ගිය අතර තමන් වහන්සේ බුදු කෙනෙකුන් බව සරද තාපසට දත හැකි වනු පිණිස අහසින් වැඩම කොට ඔහු බලා සිටියදී අහසින් පොළොවට බැස වදාළ සේක.

සරද තාපස තෙමේ අහසින් බට අමුත්තාගේ අනුභාව හා රූප ශෝභාව දැක විශ්මය ප්‍රාප්තවැ, බුදුරදුන් දෙස බලා ලක්ෂණ ශාස්ත්‍රය අනුව සිතනුයේ මොහුගේ සිරුරෙහි ඇති ලක්ෂණ වලින් යුත් තැනැත්තා ගිහි ගෙයි විසුවොත් සක්විති රජකු විය යුතු ය. පැවිදි වුවහොත් සියල්ල දැන බුදුවිය යුතු ය, මේ මහා පුරුෂයා ඒකාන්තයෙන් බුදු කෙනෙකු විය යුතුය”යි සිතා ඉදිරියට ගොස් පසඟ පිහිටුවා වැඳ වැඩහිඳීමට අසුනක් පණවා දිණ. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ වුන් සේක. සරද තාපස ද සුදුසු අසුනක් ගෙන එකත්පසෙක හිඳ ගත්තේ ය. එකෙණෙහි සැත්තෑසතරදහසක් තාපසයෝ ඕජාවත් ඵලාඵලයන් ගෙන වරයා වෙත පැමිණියෝ ය. තවුසෝ බුදුන් වහන්සේ හා තමන් ගේ ආචාර්යවරයා හුන් අසුන් දැක “ආචාර්‍ය්‍යන් වහන්ස, අපි මෙතෙක් කල් නුඹ වහන්සේට වැඩි කෙනෙකු මේ ලෝකයෙහි නැතය යි සිතා සිටියෙමු. මේ පුරුෂයාණෝ නුඹ වහන්සේට උසස් කෙනෙකු සේ පෙනෙති”යි කීහ. එකල්හි සරද තාපස “දරුවනි, කුමක් කියන්නෙහු ද? නුඹලා අබ ඇටයක් මහා මෙරක් හා සසඳන්නට සිතන්නහු ය, සියල්ල දත් බුදුන් වහන්සේට මා උපමා නො කරව් ය”යි කීය. එකල්හි තවුසෝ “ඉදින් මේ පුරුෂයා සුළු කෙනකු නම් අප ආචාර්‍ය්‍යෝ මෙබඳු උපමාවක් නො කියන්නාහ. මේ පුරුෂයා ඒකාන්තයෙන් උසස් කෙනකුම විය යුතුය”යි සැම දෙනම අනෝමදස්සි බුදුන් වහන්සේගේ පා වැන්දෝ ය. ඉක්බිති සරද තාපස තෙමේ සිසුන් අමතා, “දරුවෙනි, බුදුන් වහන්සේ ආහාර වළදන වේලාවෙහි මෙහි පැමිණි සේක. උන්වහන්සේට පිරිනැමීමට සුදුසු බොජුනක් අපට නැත. එහෙත් අපට ඇති සැටියට අපි උන්වහන්සේට ආහාර පිළිගන්වමු. තොප විසින් ගෙනෙන ලද ඵලාඵල වලින් ප්‍රණීත ප්‍රණීත ඵලාඵලයන් ගෙනෙවු”ය යි කියා ඵලාඵල ගෙන්වා අත සෝදා ඒවා තථාගතයන් වහන්සේගේ පාත්‍රයෙහි තැබී ය. තාපස තෙමේ තමා විසින්ම පැන් ද පෙරා තථාගතයන් වහන්සේට පිළිගැන්වීය. බුදුන් වහන්සේ වළදා අවසන් කොට වැඩහුන් කල්හි සරද තාපස තෙමේ සියළු අතවැසියන් කැඳවා ගෙන තථාගතන් වහන්සේ හා පිළිසඳර කථාවෙහි යෙදිණ.

එකල්හි තථාගතයන් වහන්සේ “අග්‍රශ්‍රාවක දෙනම භික්ෂුසංඝයා ද සමඟ එත්වා”යි සිතුහ. අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනම ශාස්තෲන් වහන්සේගේ සිත දැන ලක්ෂයක් රහතුන් සමඟ පැමිණ තථාගතයන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියහ. එකල්හි සරද තාපස ගෝලයන් අමතා “දරුවනි, බුදුන් වහන්සේ වැඩ සිටින අසුන ද මිටි ය. මේ ශ්‍රාමණයන් වහන්සේලාට වැඩ සිටීමට ආසන ද නැත. තොප විසින් අද මහත් වූ බුද්ධ සත්කාරයක් කළ යුතුය. ඒ සදහා වර්ණගන්ධයෙන් යුක්ත වන නා නා පුෂ්පයන් පර්වතපාදයෙන් ගෙන එව්”ය කීය. සෘද්ධිමත් වූ තවුසෝ එකෙණෙහිම බොහෝ මල් ගෙනවුත් තථාගතයන් වහන්සේ සඳහා යොදුනක් උස මලසුනක් පැනවූහ. අගසව් දෙනම සඳහා තුන්ගව් අසුන් පැනවූහ. සෙසු භික්ෂූන්ට සුදුසු අසුන් පැනවූහ. නවක භික්ෂූන්ට පැනවූ අසුන් ද ඉස්බක් (බඹ තිස්පහක්) පමණ විය. ඉක්බිති සරද තාපස තථාගතයන් වහන්සේ වැඳ “ස්වාමීනි, අපට දීර්ඝ කාලයක් හිතසැප පිණිස මේ අසුනෙහි වැඩ සිටින සේක්වා”යි ආරාධනා කෙළේය. බුදුන් වහන්සේ අසුන් ගත් පසු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු භික්ෂූන් තම තමන්ට පැනවූ අසුන් වල වැඩ හුන්හ. සරද තාපස නානාවර්ණ පුෂ්පයන්ගෙන් සැදි මහත්වූ ඡත්‍රයක් ගෙන තථාගතයන් වහන්සේට අල්ලාගෙන සිටියේ ය.

එකල්හි තථාගතයන් වහන්සේ “තාපසයන්ට මේ සත්කාරය මහත් ඵල වේවා”යි නිරෝධ සමාපත්තියට සමවන් සේක. ශාස්තෲන් වහන්සේ සමාපත්තියට සමවන් බව දැන අග්‍රශ්‍රාවකයන් ඇතුළු සකල භික්ෂූහු ද සමවතට සමවන්හ. සරද තාපසයන්ගේ ගෝලයෝ භික්ෂාචාර කාලය පැමිණි කල්හි වනමුල් ඵලයන් වළදා ඉතිරි කාලයේ තථාගතයන් වහන්සේට වැඳ ගෙන සිටිති. සරද තාපස ආහාර වැළඳීම ද නො කොට කුඩය අල්ලාගත් වනම සතිය මුළුල්ලෙහි ප්‍රීති සුවයෙන් ම විසුයේ ය.

තථාගතයන් වහන්සේ සතියකින් පසු නිරෝධ සාමාපත්තියෙන් නැගිට තමන් වහන්සේගේ දකුණු පස වැඩ හුන් අග්‍රශ්‍රාවක නිසභ තෙරුන් වහන්සේ අමතා “තාපස වරුන්ට පුෂ්පාසනානුමෝදනාව කරන්න”ය යි වදාළ සේක. නිසභ තෙරුන් වහන්සේ ශ්‍රාවක පාරමීඥානයෙහි සිට තාපසවරුන් දහම් දෙසූහ. උන්වහන්සේගේ දේශනාවසානයෙහි ද්විතීය ශ්‍රාවක අනෝම තෙරුන් වහන්සේට දහම් දේසීමට වදාළ සේක. උන්වහන්සේ ද ත්‍රිපිටක බුද්ධධර්මය මෙනෙහි කොට දහම් දෙසූහ. අගසව් දෙනමගේ දේශනයෙන් එක් තවුසකුටද ධර්මාභිසමය නො වීය. ඉක්බිති තථාගතයන් වහන්සේ අපරිමාණ බුද්ධවිෂයෙහි සිට දහම් දෙසීමට පටන් ගත්හ. ඒ දේශනයෙන් සරද තාපසයන් හැර සිව්සැත්තෑදහසක් තවුසෝ සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියාහු ය. ඉක්බිති තථාගතයන් වහන්සේ , “මහණෙනි, එව්”යි කියා ශ්‍රී හස්තය දිගු කළ සේක. එකෙණෙහි තවුසන් ගේ කෙස් රැවුල් අතුරුදහන් විය. අෂ්ටපරිෂ්කාරය ශරීරයෙහි ඉබේම පිහිටියේ ය. ඔවුන්ගේ ප්‍රධානයාවූ සරද තාපස තුමා ඉතිරි විය. එතුමාට ධර්මය අවබෝධ නො වීය.

සරද තාපසයන්ට වනාහි බුදුරදුන්ට දෙවන අසුනෙහි හිඳ ශ්‍රාවක පාරමී ඥානයෙහි පිහිටා දහම් දෙසූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ ධර්මය අසන්නට ලද වේලාවෙහි පටන් “අහෝ මට ද අනාගතයේ යම් කිසි බුදු කෙනෙකුන්ගේ සස්නක මේ ශ්‍රාවකයා විසින් ලබා ඇති තනතුර ලද හොත් මැනව” යන හිත ඇති විය. ඔහුට ඒ කල්පනාව නිසාම තථාගතයන් වහන්සේ දේශනය කළ ධර්මය මැනවින් තේරුම් ගෙන මඟ ඵල ලබන්නට නො පිළිවන් විය.

තමාගේ ශිෂ්‍ය පිරිස රහත්ව බුදුසස්නෙහි පැවිද්ද ලබා ගත් පසු සරද තාපස තථාගතයන් වහන්සේ වැඳ “ස්වාමීනි, නුඹවහන්සේට සමීප අසුනෙහි වැඩ සිට දහම් දෙසු භික්ෂූන් වහන්සේ නුඹ වහන්සේගේ සස්නෙහි කවරෙක් වෙත් දැ”යි විචාළේ ය. එකල්හි තථාගතයන් වහන්සේ “ශ්‍රාවක පාරමීඥානයෙහි කෙළ පැමිණ සිටින්නාවූ ෂෝඩශ ප්‍රඥාවන් ප්‍රතිවේධ කර සිටින්නාවූ මා විසින් පවත්වන ලද ධර්ම චක්‍රය නැවත පවත්වන්නාවූ ඒ භික්ෂු තෙමේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක නම් වන්නේය”යි වදාළ සේක. සරද තාපස තෙමේ “ස්වාමීනි, සතියක් මුළුල්ලෙහි නුඹ වහන්සේට පුෂ්ප ඡත්‍රයක් දැරීමෙන් කළ සත්කාරයෙන් මම ශක්‍රත්වයක් හෝ බ්‍රහ්මත්වයක් නො පතමි. ඒ පිනෙන් මමද අනාගතයෙහි මේ නිසභස්ථවිරයන් වහන්සේ මෙන් එක් බුදු කෙනෙකුන්ගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක වෙම්වා”යි ප්‍රාර්ථනා කෙළේ ය.

එකල්හි තථාගතයන් වහන්සේ “මොහුගේ ප්‍රාර්ථනය සිදුවන්නේ දැ”යි අනාගතයට නුවණ යවා බලා සිදුවනු දැක සරද තාපස අමතා , “පින්වත, මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් ගෞතම නම් බුදු කෙනෙක් ලොව පහළ වන්නාහ. ඒ බුදුන්ගේ සස්නෙහි ඔබ ධර්ම සේනාපති ශාරිපුත්‍ර නම් අග්‍රශ්‍රාවකයා වන්නෙහිය”යි වදාළ සේක. එදා ඒ අනවමදර්ශී සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට සත්කාර කොට අගසව් තනතුර පැතූ සරද තාපස ඒ බුදුරදුන්ගේ අරහං ගුණානුභාවය නිසා ප්‍රාර්ථනාව සිදුවීම් වශයෙන් අග්‍රශ්‍රාවක විය.

සරද තාපස තෙමේ තමා අගසව් තනතුර ලබන ගෞතම බුද්ධශාසනයේ දෙවන ශ්‍රාවක තනතුර තමාගේ යහළුවා වන සිරිවඩ්ඪ කෙළෙඹියා ලවා ප්‍රාර්ථනා කරවනු කැමැත්තේ ඔහු වෙත ගියේ ය. සිරිවඩ්ඪ, “බොහෝ කලකින් ආර්‍ය්‍යන් වහන්සේ පැමිණියහ”යි ආසනයක හිඳුවා තෙමේ ද නීචාසනයෙක හිඳ “ස්වාමීනි, අද නුඹවහන්සේගේ අතවැසියෝ නො පෙනෙති”යි කීය. “එසේය යහළුව, අපේ අසපුවට අනවමදර්ශී සර්වඥයන් වහන්සේ පැමිණියහ. අපි උන්වහන්සේට ශක්ති පමණින් සත්කාර කෙළෙමු. උන්වහන්සේ අපට දහම් දෙසූ සේක, දේශනාවසානයෙහි මාගේ ශිෂ්‍යයෝ රහත්ව උන්වහන්සේ වෙත පැවිදි වූහ”යි කීය. “ස්වාමීනි, එසේ නම් නුඹ වහන්සේ ඒ බුදුරදුන් වෙත පැවිදි නො වූයේ මන්දැ”යි සිරිවඩ්ඪ කීය. “යහළුව, මම ඒ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ නිසභ තෙරුන් වහන්සේ දැක අනාගතයෙහි ලොව පහළ වන ගෞතම නම් බුදුරදුන්ගේ සස්නෙහි අග සව් තනතුර පැතුවෙමි, ඔබ ද ඒ බුදු සස්නෙහි දෙවන සව් තනතුර පතනු මැනව”යි සරද තාපස කීය.

සිරිවඩ්ඪ කෙළෙඹි එයට කැමති වී සරද තාපසයන්ගේ උපදෙස් පරිදි තමාගේ නිවස ඉදිරියේ අටකිරියක් පමණ භූමිභාගයක් සමතලා කරවා වැලි ඉස්වා ලදපස්මල් ඉස්වා නිලුපුල් මල් පියැස්ස ඇති මඩුවක් කරවා අසුන් පනවා මහත් සත්කාරයක් පිළියෙල කොට බුදුන් වහන්සේ වැඩමවා දෙන පරිදි සරද තාපසතුමාට කීය. තාපසතෙමේ ඔහුගේ ඉල්ලීම පරිදි බුදුපාමොක් මහසඟන ඔහුගේ නිවසට වැඩම කරවීය. සිරිවඩ්ඪ පැනවූ අසුන්වල බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟන වඩා හිඳුවා ප්‍රණීත භෝජන වළදවා අවසානයේදී වටිනා වස්ත්‍ර ද පුදා තථාගතයන් වහන්සේ වැඳ, “ස්වාමීනි, මාගේ මේ උත්සාහය සුළු දෙයක් නිසා නොව්ය, එබැවින් මට සතියක්ම මෙසේ අනුකම්පා කරන සේක්වා”යි සැළ කළේය.

තථාගතයන් වහන්සේ ඔහුගේ ආරාධනාව ඉවසා වදාළසේක. ඔහු සත්දිනක් මහදන් දී අවසානයේ අනවමදර්ශී සම්බුද්ධයන් වහන්සේ වැඳ ඇඳිලි බැඳ සිට “ස්වාමීනි, මාගේ යහළු සරද තාපසතුමා යම් බුදුකෙනෙකුන්ගේ අගසව් බව පැතී ද මම මේ කුශලයෙන් ඒ බුදුරදුන්ගේ ද්විතීය අග්‍රශ්‍රාවක වෙම්වා”යි පැතීය. තථාගතයන් වහන්සේ අනාගතය බලා ඔහුගේ ප්‍රාර්ථනාව සිදුවන බව දැන “නුඹ මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු බුදුවන ගෞතම නම් සර්වඥයන් වහන්සේගේ ද්විතීයාග්‍රශ්‍රාවක වන්නෙහිය”යි වදාළ සේක. හෙතෙමේ එසේ අනවමදර්ශී බුදුරදුන් ඉදිරියේ කළ ප්‍රාර්ථනාවෙන් මොග්ගල්ලාන නම් ද්විතීයාග්‍රශ්‍රාවක විය.

(මනෝරථපූරණි 84)

අප බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ඒ ඒ කරුණෙන් අග්‍රස්ථානය ලැබූ අගසව් දෙනමගෙන් අන්‍යවූ සකල ස්ථවිර ස්ථවිරීහුද, උපාසක උපාසිකාවෝ ද, මෙයින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පූජා සත්කාර කොට ඒ තනතුරු වලට පැමිණි බැව් ඔවුන්ගේ චරිත කථාවලින් පෙනේ. ඒ චරිත කථා වලින් අප බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවක මහකසුප් තෙරුන් වහන්සේගේ කථාව ඉතා විචිත්‍රවූ ද ආශ්චර්ය්‍යද්භූත කරුණුවලින් යුක්ත වූ ද කථාවෙකි. එය මෙසේය:-

මහා කාශ්‍යප ස්ථවිර චරිතය

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළවී හංසවතී නම් නගරය උපනිඃශ්‍රය කොට වැඩ වෙසෙන කල්හි ඒ නගරයෙහි අසූකෝටියක් ධනය ඇති වේදේහ නම් කෙළඹියෙක් වාසය කළේ ය.

දිනක් හෙ තෙමේ සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරදුන් වැඳ පුදා එකත් පසෙක වාඩි විය.

එකෙණෙහි තථාගතයන් වහන්සේ “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ධුතවාදානං යදිදං නිසභො”යි ඒ බුදුසස්නෙහි තෘතීය ශ්‍රාවක මහානිසභ තෙරුන් වහන්සේ ධුතවාදීන් අතරින් අග්‍ර ස්ථානයෙහි තබා වදාළ සේක.

උපාසක තෙමේ එය අසා ඉතා ප්‍රසන්නව ධර්මදේශනාවසානයේ ජනයා නැගිට ගිය කල්හි පියුමතුරා බුදුරජාණන් වහන්සේ වැඳ හිමියෙනි, සෙට දින මාගේ භික්ෂාව ඉවසා වදාරන සේක්වා”යි සැළ කලේය.

“උපාසකය, භික්ඛුසංඝයා බොහෝ වෙති”යි තථාගතයන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා කොපමණ වන්නාහු ද? “උපාසකය, සැටඅටදහසක් ය”යි වදාළසේක. “ස්වාමීනි, එක් සාමණේර නමකුදු විහාරයෙහි ඉතිරි නො කොට සැමදෙනා වහන්සේ සමඟ මාගේ භික්ෂාව පිළිගන්නා සේක්වා”යි උපාසක කී ය. ශාස්තෲන් වහන්සේ ඉවසා වදාළ සේක. වේදේහ උපාසක තෙමේ තමාගේ ආරාධනාව තථාගතයන් වහන්සේ පිළිගත්බව දැන ගෙට ගොස් මහා දානයක් පිළියල කොට දෙවන දිනයෙහි තථාගතයන් වහන්සේට කාලය සැලකර යැවූයේ ය.

තථාගතයන් වහන්සේ මහත්වූ බික්සඟන හා ඔහුගේ නිවසට වැඩ වදාරා පනවන ලද අස්නෙහි වැඩ සිටි සේක. බික්සඟන ද වැඩ සිටි සේක. උපාසක ද බුදුරදුන් සමීපයෙහි හුන්නේය.

ඒ අතර මහානිසභ තෙරුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නාහු ඒ වීදියට පැමිණියහ. උපාසක තෙමේ උන්වහන්සේ දැක නැගිට ගොස් තෙරුන් වහන්සේ වැඳ “ස්වාමීනි, ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිති. නුඹවහන්සේ ද මේ ගෙට වඩිනු මැනව”යි කීය. “උපාසක, නොවටනේය”යි තෙරුන් වහන්සේ කීහ. එකල්හි උපාසක තෙමේ තෙරුන් වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවා ගෙන ගොස් පිළිගැන්වී ය. ඉක්බිති උපාසකතුමා ගෙට පිවිස බුදුරදුන් සමීපයෙහි හිඳ “ස්වාමීනි, මහානිසභ තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිති යි කිව ද මේ ගෙට පිවිසෙන්නට නො කැමති වූහ. ස්වාමීනි, කිමෙක්ද? ඒ තෙරුන් වහන්සේ නුඹවහන්සේට ද වැඩි ගුණ ඇත්තෝ දැ”යි විචාළේ ය.

බුදුවරුන්ට ගුණමසුරුබවක් නැත. උන්වහන්සේ ගුණැතියන්ගේ ගුණ නො අඩු කොට පවසන්නාහ. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක්, “එසේ ය උපාසක, අපි වනාහි භික්ෂාව බලාපොරොත්තුවෙන් අනුන්ගේ ගෙවල හිඳින්නෙමු. ඒ භික්ෂුව එසේ නො හිඳින්නේ ය. අපි ග්‍රාමාන්ත සේනාසනයන්හි වෙසෙමුය, ඒ මහණ ආරණ්‍යයෙහි ම වෙසෙන්නේය, අපි පියැසි යට වෙසෙන්නමුය, ඒ මහණ අභ්‍යවකාශයෙහි ම වෙසෙන්නේය”යි උන්වහන්සේ ගේ ගුණ නො අඩු කොට වදාළ සේක.

මහානිසභ තෙරුන් වහන්සේගේ ගුණයෙහි පැහැදී සිටි උපාසකතුමා තථාගතයන් වහන්සේගේ වචනය අසා වඩාත් පැහැදී “මට අන් සැපතක් කුමටද? මම ද අනාගතයෙහි එක් බුදුසස්නක ධුතවාදීන්ගෙන් අග්‍රවෙමි”යි සිතා නැවතත් බුදුන් වහන්සේට ආරාධනා කොට සත්දිනක්ම මහදන් දී සත්වන දිනයෙහි බුදුපාමොක් මහසඟනට තුන්සිවුරු ද පුදා ශාස්තෲන්වහන්සේ ගේ පාමුල වැදහෙව “ස්වාමීනි, සත්දිනක් දන් දුන් මම ඒ පිනෙන් අන් දිව්‍යසම්පත්තියක් හෝ ශක්‍ර - බ්‍රහ්ම සම්පත්තියක් හෝ නො පතමි. මගේ මේ පුණ්‍යකර්මය අනාගතයේ එක් බුදුකෙනකුන් ගේ ශාසනයෙහි මහානිසභ ස්ථවිරයන් වහන්සේ විසින් පත් තැනට පැමිණීමට හේතු වේවා”යි පැතී ය.

එකල්හි තථාගතයන් වහන්සේ “මේ උපාසක මහත් තනතුරක් පතයි, ඔහුගේ ඒ පැතුම මුදුන්පත් වන්නේ දෝ”යි අනාගතය බලා වදාරනසේක් සිද්ධ වන බව දැක, “උපාසක ඔබ අගනා තනතුරක් පැතුයෙහි ය. අනාගතයෙහි කල්ප අසංඛ්‍යයකින් ගෞතම නම් බුදු කෙනෙක් පහළ වන්නේ ය. ඔබ මහාකාශ්‍යප යන නමින් ඒ බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවකයා වන්නේ ය”යි වදාළ සේක. එය අසා උපාසකතෙමේ බුදුවරුන්ගේ ප්‍රකාශනයක් නොවරදින බැවින් කල්පලක්ෂයකින් ලැබෙන තනතුර ගැන සෙට ලැබෙන දෙයක් ගැන සේ ප්‍රීතියට පැමිණියේ ය. හෙතමේ ඉන් පසු ද දානාදී බොහෝ පින්කම් කොට මරණින් පසු දෙව්ලොව උපන.

අරහං ගුණයෙන් යුත් පදුමුත්තර බුදුරදුන්ට පූජාසත්කාර කිරීමේ පිනෙන් හෙතෙමේ ඉතා දීර්ඝ කාලයක් දෙව්මිනිස් දෙගතියෙහි අනේකප්‍රකාර සැප සම්පත් ලබා, මෙයින් අනූඑක්වන කප විපස්සී බුදුරජාණන් වහන්සේ ලොව පහළව බන්ධුමතී නගරය උපනිඃශ්‍රය කොට වැඩවෙසෙන කල්හි දෙව්ලොවින් ච්‍යුතව එක් පිරිහුණු බමුණු ගෙයක උපන්නේ ය.

එකල්හි විපස්සී බුදුන්වහන්සේ සත්වසරකට වර බැගින් ධර්මදේශනා පවත්වන සේක. දහම් දෙසන දිනය ළං වන කල්හි දෙවියෝ ඒ බව දඹදිව මුළුල්ලෙහි පතළ කරති. ඒ ආරංචිය පැතිරෙත්ම දහම් ඇසීමට යාම සඳහා මිනිසුන් අතර ඉමහත් කලබලයක් ඇති වෙයි. ඒ ආරංචිය බ්‍රාහ්මණයාට ද ඇසිණ. ඔහු ඉතා දුප්පතෙකි. ඔහුට හැඳීමට තුබුණේ එක් වස්ත්‍රයක් පමණෙකි. ඒ නිසා ඔහුට ඒකශාටක බ්‍රාහ්මණය යි ද කියති. ඔහුගේ බිරියට හැඳීමට තිබුණේ ද එක ම වස්ත්‍රයෙකි. මේ දෙදෙනාටම පෙරවීමට එක් වස්ත්‍රයක් තිබිණ. එබැවින් ඔවුන් දෙදෙනාට එකවර පිටත යා නො හැකි විය. බමුණා පිටත යන කල්හි බැමිණිය ගෙයි රඳවා ඒ වස්ත්‍රයෙන් කය වසාගෙන යයි. බැමිණිය යන කල්හි බමුණා ගෙයි රැඳෙයි.

ධර්මදේශනා දිනය පැමිණි කල්හි බමුණා භාර්යාවට කථා කොට “සොඳුර, තී දහම් ඇසීමට යන්නේ රාත්‍රියෙහි ද නැතහොත් දවාලෙහි දැ”යි කී ය. “හිමියනි, ස්ත්‍රීන්ට රාත්‍රියෙහි යාම දුෂ්කරය. මම දවල් යමි ය”යි බමුණා ගෙදර නවතා ඕ තොමෝ ඒ වස්ත්‍රය පොරොවා උපාසිකාවන් හා එක්ව දහම් ඇසුමට ගියා ය. ඇය දහම් අසා පැමිණි කල්හි රාත්‍රි කාලයේ බමුණා ඒ වස්ත්‍රයෙන් උඩුකය වසා දහම් ඇසීමට ගියේය.

එසමයෙහි විපස්සී බුදුරජාණන් වහන්සේ මහ පිරිස මැද අලංකෘත ධර්මාසන මතුයෙහි වැඩ හිඳ අතිමධුරවූ බ්‍රහ්මස්වරයෙන් අසනුවන්ගේ කන්හි මී හෙලන්නාක් මෙන් මිහිරි කොට දහම් දෙසන සේක. පිරිස් කෙළවර හිඳ දහම් ඇසුවාවූ ඒකශාටක බ්‍රාහ්මණට ප්‍රථම යාමයේදීම ඉමහත් ප්‍රීතියක් ඇති විය.

ඔහුට තමා පොරවා සිටින වස්ත්‍රය හකුළා තථාගතයන් වහන්සේට පුදන්නට සිත් විය. එකෙණෙහිම ඔහුට දහසක් ආදීනව දක්වමින් මසුරු බව උපණ. “අප දෙදෙනාටම පිටතට යන්නට ඇති මේ වස්ත්‍රය දුන හොත් අපට ගෙයිම සිටින්ට වෙති”යි ඔහු එය නොපුදන්නට තීරණය කර ගත්තේය. මධ්‍යම යාමේදී ද ඔහුට ශරීරය පවා පිණායන බලවත් ප්‍රීතිය උපණ. එහෙත් ඔහුට වස්ත්‍රය නොදිය හැකි විය. පෙර සේම දීමෙන් වන නොයෙක් අමාරුකම් ගැන සිතා නොදෙන්නට සිතා ගත්තේය. පශ්චිම යාමයේදී ද ඔහුට මහත්වූ ප්‍රීතිය උපණ. “පසු කුමක් වුවත් මේ අත්‍යුත්තම ධර්මයෙන් මා පිණවන මුන්වහන්සේට මේ වස්ත්‍රය පුදමි”යි වස්ත්‍රය හකුළා ශාස්තෲන් වහන්සේ පාමුල තැබීය. ඔහුට එයින් වඩාත් ප්‍රීතිය ඇති විය. ඒ ප්‍රීතියෙන් අත්පොළසන් දිණ. “මා දිනුවා! මා දිනුවා!! ”යි ඔහුගේ මුවින් මහහඬින් ඉබේම කියවිණ.

බන්ධුම රජතුමා ද එහි දහම් අසමින් සිටියේය. රජුන්ට මා දිනුවා යන හඬ බිය සැක ඇති කරන්නෙක. එය ඔවුන්ට අප්‍රිය හඬකි. එබැවින් රජතුමා “ඔහු කුමක් කියන්නේ දැ”යි විමසීමට පුරුෂයකු යැවීය. ඒ පුරුෂයා ගොස් ඇසූ කල්හි, ඒකශාටක බ්‍රාහ්මණ කියනුයේ “අන්‍යයෝ කඩු දුනු ආදිය ගෙන යුද කොට පරසේනාවන් දිනාගන්නාහ, එය ආශ්චර්‍ය්‍යක් නොවේ, මම වනාහි පස්සෙන් එන කුළුගොනකු පොල්ලකින් ගසා එලවා දමන්නාක් මෙන් මසුරු සිත මැඩ, පොරවා සිටි සළුව දශබලධාරීන් වහන්සේට පිදුවෙමිය, මම ඒ මසුරුකම දිනිමි”යි කීය.

පුරුෂ තෙමේ රජතුමාට ඒ කරුණ දැන්වීය. එකල්හි රජතුමා “තථාගතයන් වහන්සේට පූජාවක් කළ යුතු බව අපට නො තේරුණේය, බමුණාට ඒ බව වැටහුණේය”යි සතුටු වී ඔහුට සළු යුවලක් යැවීය. බ්‍රාහ්මණ එය පිළිගෙන “මේ රජු කලින් තුෂ්ණීම්භූතව සිටි මට කිසිවක් නොදී බුදුරදුන්ගේ ගුණ කී නිසා මට මේ වස්ත්‍ර දුන්නේය. බුදුන්ගේ ගුණ කීම නිසා ලද මේ වස්ත්‍ර මට කුමටද? මේවාත් බුදුනටම පුදමි”යි ඒ වස්ත්‍ර ජෝඩුව ද බුදුන්ගේ පාමුල තැබීය.

රජතුමා “බ්‍රාහ්මණයා කුමක් කෙළේ දැයි ” විචාරා “ඒ වස්ත්‍ර ද ඔහු බුදු රජුන්ට ම පිරිනැමුවේය”යි අසා නැවතත් බමුණාට සළු දෙකක් යැවීය. ඒවාද ඔහු බුදුනට පිදුවේ ය. ඒ බව අසා රජු නැවත ඔහුට සළු සතරක් යැවී ය. ඒවාද ඔහු බුදුනට පිදුවේය. යවන වස්ත්‍ර බමුණා විසින් බුදුරදුන්ට පුදත් පුදත්ම රජු ද ඔහුට දෙගුණ දෙගුණ කොට වස්ත්‍ර යැවීය. රජතුමා වස්ත්‍ර දෙතිස දක්වා යැවූ කල්හි බ්‍රාහ්මණ තෙමේ “මෙසේ වස්ත්‍ර පිදීම වැඩි වැඩි කොට ගැනීමක් වැනිය”යි තමාට හා බැමිණියට සළු දෙකක් ඉතිරි කර ගෙන තිසක් බුදුනට පිදුවේය. එතැන් පටන් ඒකාශාටක බමුණු බුදුරදුන් හා විශ්වාසිකයෙක් විය.

දිනක් ඒකාශාටක බ්‍රාහ්මණ ශීතකාලයේ බුදුරදුන්ගෙන් දහම් අසනු දැක, රජු තමා පොරවා සිටි ලක්ෂයක් වටිනා කම්බිලිය ඔහුට දී “මෙතැන් පටන් මේ කම්බිලිය පොරවා ගෙන දහම් අසන්න ය”යි කීය. බ්‍රාහ්මණ තෙමේ “මේ වටනා කම්බිලිය මාගේ මේ කුණුකය වසනවාට වඩා මෙයත් බුදු රදුන්ටම පිදීම යහපතැ”යි සිතා ගඳකිළියෙහි තථාගතයන් වහන්සේ සැතපෙන ඇඳමත වියනක් කොට තබා ගියේ ය.

එක් දවසක් රජු විහාරයට ගොස් ගඳකිළිය තුළ බුදුරදුන් සමීපයෙහි හිඳගෙන සිටියේය. තථාගත ශරීරයෙන් නික්මෙන ෂට්වර්ණ රශ්මීන් වැදී ඒ කම්බිලිය අතිශයින් බැබලෙමින් තිබිණ. රජු කම්බිලිය දැක හැඳින “ස්වාමීනි, මේ අපගේ ය, අප විසින් මෙය ඒකශාටක බ්‍රාහ්මණයාට තෑගි කරන ලද්දේ ය”යි කීය. “මහරජ, ඔබ විසින් මේ කම්බිලියෙන් බ්‍රාහ්මණයා පුදන ලද්දේ ය, බ්‍රාහ්මණයා විසින් එය අපට පුදනු ලද්දේ ය”යි වදාළහ.

එකල්හි රජු “මේ බ්‍රාහ්මණයා යුතුකම් දන්නේය, අපි ඔහු මෙන් යුතුකම් නො දනිමුය”යි ඔහු කෙරෙහි පැහැදී මනුෂ්‍යයන්ට ප්‍රයෝජන සෑම දෙයකින්ම අට බැගින් ගෙන ඔහුට සබ්බට්ඨක නම් දානයක් දී පුරෝහිත තනතුර ද දුන්නේ ය.

කලින් කිසිවකුගේ සැලකිල්ලට භාජනය නො වී සිටි ඒ දුප්පත් බමුණාහට මෙතරම් සැලකිලි කරන්නට රජුට සිත වූයේ අරහං ගුණයෙන් යුත් තථාගතයන් වහන්සේට වස්ත්‍ර පූජා කිරීමේ කුශල බලයෙනි. එබඳු ගුණ නැති අනිකකුට වස්ත්‍ර දහසක් වස්ත්‍ර දස දහසක් දුන ද එබඳු විපාකයක් නො ලැබෙන්නේ ය.

මහත් සම්පත්තියට පැමිණියා වූ බ්‍රාහ්මණ තෙමේ සිවුසැටක් සලාක බත් පිහිටුවා දිනපතා දන් දී තවත් නොයෙකුත් පින්කම් ද කොට ආයු කෙළවර නැවත ද දෙව්ලොව උපන්නේ ය.

සසර සැරිසරන්නාවූ ඒකශාටක බ්‍රාහ්මණ තෙමේ මේ කල්පයෙහි කෝණාගමණ - කාශ්‍යප යන දෙබුදුවරයන් වහන්සේට අතර කාලයේ බරණැස් නුවර කුල ගෙයක උපන්නේය. ඔහු එක් දිනක් වනයෙහි ඇවිදිනා වේලෙහි ගංතෙරක සිවුරක් කරමින් සිටි පසේ බුදු කෙනෙකුන් නුවාවකට රෙදි මඳ වීමෙන් හකුලා තබන්නට සැරසෙනු දැක, “ස්වාමීනි, සිවුර හකුළන්නේ කුමක් නිසා දැ”යි අසා නුවාවකට රෙදි මදි වීම නිසා බව දැන තමා පොරවා සිටි උතුරු සළුව උන් වහන්සේට පුදා “මේ පිනෙන් උපනුපන් භවයෙහි මට කිසිවකින් අඩුවක් නො වේවා”යි පැතීය.

එදින ඔහුගේ නිවසේ ඔහුගේ බිරිය හා නැගණිය ඔවුනොවුන් කෝලාහල කරමින් ඉන්නා අතර ඒ පසේ බුදුන් වහන්සේ ඔහුගේ නිවස සමීපයට පිඬු සිඟා වැඩි සේක. එකල්හි නැගණිය පසේ බුදුන් වහන්සේට පිණ්ඩපාතය පිරිනමා “මේ නපුරු ගැහැණියගෙන් යොදුන් සියයකින් දුරුවේවා”යි පැතීය.

ඔහුගේ බිරිය මිදුලේ සිට නැඟණියගේ ප්‍රාර්ථනාව අසා “මැගේ පිණ්ඩපාතය මේ ශ්‍රමණයාට වළදන්නට නො දෙමි”යි සිතා පසේ බුදුන් වහන්සේ අතින් පාත්‍රය ගෙන පිණ්ඩපාතය විසි කර දමා පාත්‍රයට මඩ පුරවා පසේ බුදුන්ට දුන්නා ය. අනිත් තැනැත්තී, එය දැක “මෝඩිය, වුවමනා නම් මට බණින්න, ගසන්න, මෙවැනි උත්තමයන් වහන්සේ කෙනෙකුගේ පාත්‍රයට බත් විසි කොට මඩ දමා දීම යුතු නැතැ”යි කීවාය.

එකල්හි ඔහුගේ භාර්යාවට නුවණ පහළ විය. ඕ පසේබුදුන් වහන්සේ අතින් පාත්‍රය ගෙන මඩ ඉවත් කොට සෝදා පිරිසිදු කොට සුවඳ සුණු උලා සුවඳ කොට එහි චතුමධුර පුරවා මතුයෙහි පියුම් ගැබ් වන් ගිතෙල් ලා ඔප ගන්වා පසේ බුදුන් වහන්සේට පූජා කොට “මේ පිණ්ඩපාතය සේ ම උපනුපන් තැන මාගේ ශරීරය ද අලෝකවත් වේවා”යි ප්‍රාර්ථනා කළා ය ඒ අඹුසැමි දෙදෙනා ඉන් පසු ද දිවි ඇති තාක් පින් කොට දෙව්ලොව උපන්නෝය.

උපාසක තෙමේ කසුප් බුදුරදුන්ගේ කාලයෙහි බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති සිටුවරයකුට පුත්ව උපන්නේය. ඔහුගේ බිරියද ඒ කාලයේ එවැනිම සිටුගෙයක උපන්නා ය. වැඩිවිය පැමිණි කල්හි ඕ ඒ සිටුපුත්‍රයාට බිරියක් වශයෙන් ගෙනන ලද්දී ය. ඇයට එතෙක් විපාක නුදුන් පසේබුදුන්ගේ පාත්‍රයට මඩ දැමූ පාපය විපාක දෙන්නට විය. සැමියාගේ ගෙට ගිය සැටියේම ඇගේ ශරීරයෙන් පරණ වැසිකිළියකින් මෙන් දුගඳ නික්මෙන්නට විය. සිටු ගෙය, වැස්ම ඉවත් කළ වැසිකිළියක් මෙන් ගඳ ගසන්නට විය. “මේ ගඳ කොයින් එන්නේදැ”යි ඇසූ සිටුපුත්‍රයා හට “මේ අලුත් මනාලිය ගේ ගඳය”යි කී කල්හි ඔහු මනාලිය ආ යානයෙන් ම ආපසු යැවීය. ඇය නැවත නැවතත් ස්වාමිවරුන්ට පවා දෙන ලදුව සත් තැනකින් ඒ ගඳ නිසා ආපසු එවන ලද්දී ය. සිය නිවසේ ඉන්නා කල්හි ඇයගේ ඒ දුගඳ නැත.

පිනෙන් පව ගෙවීම

එසමයෙහි කාශ්‍යප දශබලධාරීන් වහන්සේ පිරිනිවුණු සේක. උන්වහන්සේගේ ධාතූන් සඳහා රන් ගඩොලින් චෛත්‍යක් කරන්නට පටන් ගත්හ. එකල්හි සිටුදූ “සත් තැනකින්ම ආපසු එවන ලද මාගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් දැ”යි සිතා තමාගේ ආභරණ සියල්ලම උණු කරවා ගඩොල් කැටයක් කරවූවාය. ඒ රන්ගඩොලය දිගින් රියනක් හා පළලින් වියතක් පමණ ද විය. ඝන සතරඟුලක් විය. ඕ ඒ රන්ගඩොලය හා හිරියල් මනෝසීල බදාම ද මානෙල් මල්මිටි අටක් ද ගෙන චෛත්‍යය කරන තැනට ගියා ය. ඒ වේලාව එක් ගඩොල් පෙලක් බැඳ අවසන් කිරීමට එක් ගඩොල් කැටයක් මදි වී සිටි වෙලාව විය. සිටුදුව එහි ගොස් “මේ ගඩොලය චෛත්‍යයෙහි තබා බඳින්න”යයි චෛත්‍යය බඳින්නාට කීවා ය. “මැණියෙනි, ඔබ ආයේ හොඳ වෙලාවකය. අප සිටියේ මේ ගඩොල් පෙල සම්පූර්ණ කිරීමට ගඩොලයක් නැතිවය. ඔබ අතින්ම ඔය ගඩොලය මෙහි තබන්නය”යි සෑය බඳින්නා කීය. ඕ එහි ගොස් බදාම යොදා ගඩොලය එහි තබා එය මත මානෙල් මල් පුදා වැඳ “මේ පිනෙන් උපනුපන් ජාතියේ මාගේ කයින් සඳුන් මල් සුවඳත් මුවෙන් මානෙල් මල් සුවඳත් සුවදත් විහිදේවා”යි පැතුවාය.

එකෙණහිම ඇය පළමුවර ගෙන ගිය සිටු පුත්‍රයාහට ඇය සිහි විය. නගරයෙහි නැකැත් කෙළියක් ආරම්භ කරන ලද්දේ ය. සිටු පුත්‍රයා “එකල තමාට ගෙන ආ සිටුදූ කොහිදැ”යි සේවකයන්ගෙන් විචාළේය. “ඇගේ ගෙයිම ඇතය”යි සේවකයෝ කීහ. “නැකැත් ක්‍රීඩාව සඳහා ඇය නැවත ද ගෙන එව්” යයි සිටුපුත්‍රයා කීය. ඔවුන් ඇය වෙත ගොස් වැඳ සිටි කල්හි “කුමට ආවහු දැ”යි ඕ විචාළා ය. සේවකයෝ ඒ පුවත ඇයට දැන්වූහ. “දරුවෙනි, මාගේ ආභරණ සියල්ල චෛත්‍යට පූජා කෙළෙමි. දැන් මට පැළඳ යාමට ආභරණ නැතැය”යි ඕ කීවාය. සේවකයෝ ඒ බව සිටුපුත්‍රයාට දැන්වූහ. එකල්හි සිටුපුත්‍රයා “පළඳනා ලැබිය හැකිය. ඇය ගෙන එන්නය”යි කීය. ඔවුහු කුමරිය කැඳවා ගෙන ආහ. ඇය පැමිණි වහාම මුළු ගෙයිම සඳුන් සුවඳ හා මානෙල් මල් සුවඳ පැතිරෙන්නට විය. සිටුපුත්‍රයා පුදුම වී “පෙර මෙහි පැමිණි කල තිගේ සිරුරෙන් කුණුගඳ විහිදුනේය. දැන් තිගේ කයින් සඳුන් සුවඳ නික්මෙන්නේ ය, මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන්නේ ය, මේ ආශ්චර්ය්‍යය කිමෙක් දැ”යි ඇසීය. ඕ සිදු වූ සියල්ල සිටුපුත්‍රයාට කීවාය.

සිටුපුත් මේ බුදු සස්න නෛයර්යාණිකයයි පැහැදී යොදුනක් පමණ වූ ස්වර්ණ චෛත්‍යය වස්ත්‍රයෙන් වසා එහි තැනින් තැන රියනක් පමණ නෙළුම් මල් වලින් සැරසුවේ ය. ඔවුහු ආයු කෙළවර නැවත ද දෙව්ලොව උපන්හ.

සිටුපුත් දෙව්ලොවින් චුතව නැවත බරණැස් නුවරට යොදුනක් දුරින් පිහිටි ගමක ඇමති පවුලක උපන්නේය. සිටු දූ දෙව්ලොවින් චුතව රජ පවුලෙහි දෙටු දුවව උපන්නීය. ඔවුන් වැඩිවිය පැමිණි කල්හි කුමරුගේ ගමෙහි නැකැත් කෙළියක් ඇරඹිණ. හෙතෙමේ නැකැත් කෙළියට සැරෙසෙනු සඳහා මවගෙන් සළුවක් ඉල්ලීය. ඈ සෝදා පිරිසිදු කළ වස්ත්‍රයක් දුන්නාහ. “එය දළය”යි කියා කුමරු ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති මව් අනික් සළුවක් දුන්නීය. එයද ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති අනිකක් දුන්නීය. කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. එකල්හි මවු “දරුව මේවාට වඩා සියුම් වස්ත්‍ර ලැබීමේ පිනක් අපට නැත ය”යි කීවා ය. “මෑණියෙනි, එසේ නම් මම ලැබෙන තැනකට යෙමි”යි කුමරු කීය. “දරුව මම නුඹට අදම බරණැස් නුවර රජකම ලැබෙනවාට කැමැත්තෙමි”යි මවු කීවා ය. “කීවාට මොහු කොහි යන්නේ ද? අතන මෙතැන ඇවිද කොහිවත් සිට මෙහි එනු ඇතැ”යි මව සිතුවාය.

ඇමති පුත් අතීත කුශලයේ මෙහෙයීමෙන් සිය නිවසින් නික්ම බරණැස් නුවරට ගොස් රජ උයනේ මඟුල් ගල් පුවරුවට වී හිස වසා පොරොවා නිදා ගත්තේ ය. එය බරණැස් රජු කළුරිය කළ සත්වන දිනය විය. අමාත්‍යයයෝ රජුගේ අවසාන කෘත්‍යය සිදු කොට රජ මිදුලෙහි රැස්ව “අප රජුට ඇත්තේ එක් දුවක් පමණය, පුත්‍රයකු නැත, රජකු නැතිව රාජ්‍යය පැවැත්වීම දුෂ්කරය, ඒ නිසා කෙනෙකු රජ කමට පත්විය යුතුය, රජ වන්නේ කවුරුන් දැ”යි සාකච්ඡා කළහ. එකල්හි පුරෝහිත බමුණු “රජකමට කෙනෙකු තේරීමට කල් නො යැවිය යුතු ය. එයට පිනැතියෙකු සොයනු පිණිස ඵුස්සරථය යවමු”යයි කීය. සෑම දෙන එයට එකඟ වුහ.

ඉක්බිති ඔවුහු රජුගේ මංගල රථයෙහි ශ්වේතච්ඡත්‍රය සහිත පඤ්ච රාජ භාණ්ඩ තබවා, කුමදුවන් අසුන් සිව්දෙනකුන් එහි යොදවා රථයට යන්නට හැර පිටුපසින් තූර්ය්‍යනාද පැවැත්වූහ. රථය නැගෙනහිර දොරටුවෙන් නික්ම මඟුල් උයන දෙසට ගමන් කරන්නට විය. ඇතැම්හු “පුරුද්ද අනුව අශ්වයෝ උයන දෙසට යතිය” කියා නවත්තන්නට කථා කළහ. පුරෝහිත බමුණු එයට ඉඩ නුදුන්නේය. රථය උයනට ගොස් කුමරු ප්‍රදක්ෂිණා කොට නැගීමට පිළියෙලව සිට ගත. පුරෝහිත තෙමේ කුමරු ගේ පතුල් විවෘතකර බලා “මෙ තෙමේ දඹදිව පමණක් නොව සතරමහාද්වීපයට වුවද රජකමට සුදුසුය”යි කියා නැවත නැවත ද තෙවරක් තූර්ය්‍යවාදනය කරවී ය. කුමරු මුහුණු විවෘත කොට බලා මහ පිරිස දැක, “කුමට මෙහි අවු දැ”යි ඇසීය. “දේවයන් වහන්ස, ඔබ වහන්සේට රාජ්‍යය පැමිණියේය”යි පුරෝහිත කීය. “රජතුමා කොහිදැ”යි කුමරු ඇසීය “සිවිරජතුමා ස්වර්ගස්ථ වීය.”යි පුරෝහිත කීය. “කොපමණ කල් ගතවී දැ”යි කුමරු ඇසීය. “සත්දිනකැ”යි පුරෝහිත කීය. “රජුට දූ පුතුන් නැති දැ”යි විචාළේය. “දේවයන් වහන්ස, දුවක් පමණක් ඇතැ”ය යි කීය. “එසේ නම් රජය කරමි”යි කුමරු කීය.

පසේබුදුනට උතුරු සළුව පිදීමේ විපාකය මතුවීම.

එකල්හි ඒ උයනහිම අභිෂේක මණ්ඩපයක් කොට රාජකුමාරිය සර්වාලංකාරයෙන් සරසා එහි පමුණුවා කුමරුන් රජයෙන් අභිෂේක කෙළේය. අභිෂේකයෙන් පසු කුමරුට හැඳීමට ලක්ෂයක් වටනා සළුවක් එළවූහ. එකල්හි කුමරු “මේ කුමක්දැ”යි ඇසීය. “දේවයන් වහන්ස, හැඳීමට සළුවෙකැ” කීහ. “මේ සළුව දළසළුවක් නොවේ ද? මෙයට සියුම් සළුවක් නැත්තේ දැ”යි කුමරු ඇසීය. “දේවයන් වහන්ස, මිනිස්ලොව නම් මෙයට වැඩි සියුම් සළු නැත”යි කීහ. “නුඹලාගේ රජ හැන්දේ මෙවැනි වස්ත්‍ර දැ”යි ඇසීය. “එසේය, දේවයනි”යි ඇමතියෝ කීය. “නුඹලාගේ රජු පිනැතියෙකු නොවෙති යි සිතිමි, රන් කෙණ්ඩියට පැන් ගෙනෙව්. වස්ත්‍ර ලබන්නෙමි”යි කුමරු කීය. රන් කෙණ්ඩියට පැන් කුමරුට පිළිගැන්වූහ. කුමරු මුව සෝදා අත් සෝදා අතින් පැන් ගෙන නැගෙනහිර දිගට ඉස්සේ ය. එකෙණෙහිම ඝන පොළොව බිඳ ගෙන කප්රුක් අටක් පැන නැංගේ ය. දකුණු බස්නාහිර උතුරුදිග්වලට ද පැන් ඉස්සේ ය. ඒ දිසාවල ද අට බැගින් කප්රුක් පැන නැංගේ ය. ඉක්බිති ඔහු එක් දිවසළුවක් හැඳ එකක් පොරවා මින් පසු “නන්ද රජුගේ රාජ්‍යයෙහි නූල් කටිනා ස්ත්‍රීහු නූල් නො කටිත්වා යි බෙර හසුරුවව්”ය යි කියා සේසත් නංවා අලංකාරයෙන් සැරසී ඇතු පිටින් නුවරට ගොස් රජගෙට පිවිස මහත් සම්පත්තියෙන් විසුවේ ය. ඒ පසේ බුදුනට උතුරු සළුව පිදීමේ විපාකය ය.

නන්ද රජතුමා මහා සම්පත්තියෙන් වැජඹෙන කල්හි එක් දිනක් දේවිය සම්පත් වළඳමින්ම කල් යවන එතුමා ගැන කණගාටු වන ආකාරයක් දැක්වූවාය. “දේවියෙනි, මේ කිමෙක්දැ”යි රජු ඇසූ කල්හි දේවිය “දේවයන් වහන්ස, අතීතයෙහි පින් කළ නිසා දැන් ඔබගේ සම්පත්තිය ඉතා මහත් ය. ඔබ වහන්සේ අනාගතය පිණිස කිසි පින්කමක් නො කරන්නාහුය”යි කීවාය. එකල්හි රජතුමා “දේවියනි, කාහට දන් දෙම් ද සිල්වත්හු නැතැ”යි කීය. “දේවයන් වහන්ස මේ දඹදිව රහතුන්ගෙන් හිස් නැත. නුඹ වහන්සේ දානය පිළියෙල කරනු මැනවි. මම රහතුන් වහන්සේ සොයා දෙමි”යි දේවිය කීවා ය. පසු දින රජතුමා ප්‍රාචීනද්වාරයෙහි දන් පිළියෙළ කරවී ය. දේවිය උදෑසන සිල් ඉටා ප්‍රාසාදයේ උඩුමහල් තලයෙහි නැගෙනහිර දිගට හිස ලා බිම දිගා වී නමස්කාර කොට මේ දිසාවෙහි රහතුන් වහන්සේ වෙසෙන සේක් නම් සෙට මෙහි වැඩ වදාරා අපගේ භික්ෂාව පිළිගන්නා සේක්වා”යි ආරාධනා කළා ය. එදිග රහතන් වහන්සේ නො වූහ. පිළියෙළ කළ සත්කාර දුගියන්ට හා යාචකයන්ට දුන්හ. පසු දින දකුණු දොරටුවෙහි දන් පිළියෙළ කොට එසේ කළාය. එදින රහත්හු නො පැමිණියහ. තෙවන දිනයෙහි බස්නාහිර දොරටුවෙහි දන් පිළියෙළ කර ආරාධනා කළා ය. රහත්හු නොපැමිණියහ. සිවුවන දිනයෙහි උතුරු දොරටුවෙහි දන් පිළියෙල කර ආරාධනා කළ කල්හි හිමාලයෙහි වෙසෙන පදුමවතී දේවියගේ දරුවන් වන පන්සියයක් පසේ බුදුවරුන්ගෙන් වැඩිමහලු මහාපදුම පසේ බුදුන් වහන්සේට එය දැනී සහෝදර පසේ බුදුවරුන් අමතා “නන්ද රජු ඔබ සැමදෙනා වහන්සේට ආරාධනා කරන්නේ ය. ඔහුගේ ආරාධනාව ඉවසන්න”ය යි වදාළහ. උන්වහන්සේලා ආරාධනාව ඉවසා පසු දින අනෝතත් විලෙහි මුව සෝදා අහසින් වැඩම කොට උත්තරද්වාරය සමීපයේදී පොළොවට බැස වදාළහ. මිනිසුන් රජු වෙත ගොස් “දේවයන් වහන්ස, පන්සියයක් පසේබුදුවරු වැඩම කළහ”යි රජුට කීහ.

රජතුමා දේවිය ද සමඟ එහි ගොස් වැඳ පසේබුදුවරුන් ප්‍රාසාදයට වැඩම කරවා උන්වහන්සේලාට දන් දී අවසානයෙහි තමන් ජීවත් වන තාක් එහිම වැඩ වෙසෙන ලෙස පසේබුදුවරුන්ට ආරාධනා කොට උන් වහන්සේලා ආරාධනාව පිළිගත් කල්හි උයනෙහි උන්වහන්සේලාට වාසස්ථාන පිළියෙල කරවා පසේ බුදුවරුන් එහි වාසය කරවූහ.

රජයුවල දිනපතා පසේබුදුවරුන්ට උපස්ථාන කළහ. දීර්ඝකාලයක් ගත වීමෙන් පසු ඒ රජුගේ රටෙහි ප්‍රත්‍යන්ත ජනපදයක කැළඹීමක් ඇති විය. රජතුමාට එය සන්සිඳවන්නට යන්නට සිදු විය. රජතුමා ඒ බව දේවියට දන්වා අප්‍රමාදව පසේබුදුවරුන්ට උපස්ථාන කරන ලෙස අවවාද කොට එහි ගියේ ය.

පසේ බුදුවරුන් පිරිනිවීම

රජතුමා ගිය තැන් පටන් දේවිය පසේබුදුවරුන්ට සිරිත් පරිදි උපස්ථාන කළා ය. එතුමා ප්‍රත්‍යන්තය සන්සිඳවා පෙරළා පැමිණීමට කලින් පසේබුදුවරුන්ගේ ආයු ගෙවිණ. මහාපදුම පසේ බුදුන් වහන්සේ රාත්‍රියක් මුළුල්ලේහි ධ්‍යානසුඛයෙන් කල්යවා අරුණෝද්ගමනයේදී සක්මන කෙළවර හේත්තු වන ලෑල්ලට හේත්තු වී සිට ගෙනම පිරිනිවියහ. සෙසු පසේබුදුවරු ද එදින ඒ වේලාවෙහි පිරිනිවියාහු ය.

දේවිය පසුදින පසේ බුදුවරුන් වළදන තැන ගොම ගාවා මල් විසුරුවා සුවඳ දුම් දී දන් පිළියෙල කරවා උන්වහන්සේලාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියා ය. පසේ බුදුහු නොපැමිණියහ. බොහෝ වේලා බලා සිට ද පසේබුදුවරුන් නො පැමිණෙන කල්හි “ආර්‍ය්‍යන් වහන්සේලාට යම්කිසි අපහසුවක් වී ඇති දැ යි බලා ගෙන එව”යි කියා පුරුෂයකු යැවී ය. ඔහු ගොස් මහාපදුම පසේබුදුන් වහන්සේ වෙසෙන පන්සලෙහි දොර හැර බලා උන්වහන්සේ එහි නො දැක සක්මනෙහි බැලූ කල්හි හේත්තු වී සිටිනු දැක සමීපයට ගොස් “ස්වාමීනි, රජගෙදරට වැඩමවීමට කාලය”යි කීයේ ය. පසේබුදුන් වහන්සේගෙන් පිළිතුරක් නො ලත් කල්හි නිදා සිටිති යි සිතා උන්වහන්සේගේ පිටිපතුල අත ගෑවේ ය. පිටිපතුල් සිසිල්ව තදව තුබුණෙන් පිරිනිවි බව දැන දෙවන පසේබුදුන් වහන්සේ වෙත ගියේ ය. උන්වහන්සේ ද පිරිනිවී ඇති බව දැන තුන්වන පසේබුදුන් වහන්සේ වෙත ගියේ ය. මෙසේ ගොස් බලා සැමදෙනා වහන්සේම පිරිනිවී ඇති බව දැන වහා රජගෙට ගොස් ඒ බව දේවියට දැන්වී ය. දේවිය හඬමින් නුවරුන් හා එහි ගොස් පසේබුදුවරුන්ගේ සිරුරු අදාහන කරවා ධාතූන් ගෙන චෛත්‍යක් කරවී ය.

රජු පැවිදිවීම

රජතුමා පසල්දනව්ව සන්සිඳවා පෙරලා එනුයේ පෙර ගමන් කළ දේවියගෙන් පසේබුදුවරුන්ගේ සුවදුක් විචාළේ ය. “දේවයන් වහන්ස, පසේබුදුවරයෝ පිරිනිවන් පා වදාළහ”යි කීවා ය. එකල්හි රජතුමා “මෙතරම් පණ්ඩිත පසේබුදුන් වහන්සේලාටත් මරණය පැමිණි කල්හි අපට ඉන් මිදීමක් කොයින් දැ”යි සිතා නැවත නගරයට නො ගොස්ම උයනට ගොස් දෙටු පුතා ගෙන්වා ඔහුට රජය භාර කොට තෙමේ එහිම පැවිදි විය. “දේවිය ද මොහු පැවිදි වූ කල්හි මම කුමක් කෙරෙම් දැ”යි සිතා ඕ ද පැවිදි වූවා ය. ඔවුන් දෙදෙනා ධ්‍යාන භාවනා කොට ආයු කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නෝ ය.

නැවත මිනිස් ලොව ඉපදීම

ඔවුන් බ්‍රහ්මලෝකයේ වෙසෙන කාලයේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළව දම්සක් පවත්වා ක්‍රමයෙන් රජගහ නුවරට වැඩ වදාළ සේක. එකල්හි රජු බඹලොවින් ච්‍යුතව මගධරට මහාතීර්ථ නම් බ්‍රාහ්මණ ග්‍රාමයෙහි උපන්නේය. ඔහු පිප්ඵලිමාණව නම් විය. දේවිය මදුරට සාගල නගරයේ කෝසියගොත්ත නම් බ්‍රාහ්මණයාගේ අගමෙහෙසුන් කුස උපන්නාය. ඕ බද්දකාපිළානි නම් වූවාය.

පිප්ඵලිමාණව විසි අවුරුදු වයසටත් බද්දකාපිලානි සොළොස් අවුරුදු වයසටත් පැමිණි කල්හි පිප්ඵලිමාණවගේ මාපියෝ “දරුව, දැන් ඔබ වැඩිවිය පැමිණ සිටින්නෙහිය, කුලපරම්පරාව ඉදිරියටත් පැවැත්විය යුතුය. ඔබට දැන් කුමාරිකාවක් සරණ කර දීමට කාලය පැමිණ ඇතැ”යි කීය. පිප්ඵලිමාණව තෙමේ “මෑණියනි, පියාණෙනි, මට එබන්දක් නොකියනු මැනව, මම ඔබ දෙදෙනා ජීවත් වන තුරු ඔබ දෙපලට උපස්ථාන කර ඉන් පසු පැවිදි වන්නෙමි”යි කීහ. ඔවුහු දින කීපයක් ඉක්ම ගිය පසු නැවතද ඒ යෝජනාව කළහ. ඔහු ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු මව ඔහුට එය ගැන නිතර කියන්නට වූවාය.

පිප්ඵලිමාණව තෙමේ උපායකින් මවුගෙන් ගැලවෙන්නට සිතා රන්කරුවන් ලවා රන්කාසි දහසකින් ශෝභන ස්ත්‍රී රූපයක් කරවා එය මැනවින් ඔප ලවා වස්ත්‍ර හඳවා නානාලංකාරයෙන් සරසවා මවු කැඳවා ඇයට රන්රුව දක්වා “මැණියනි, මෙබඳු කතක් ලද හොත් ගෙයි වෙසෙමි, නො ලද හොත් නො වෙසෙමි”යි කීය.

බැමිණිය පණ්ඩිත බැවින් “අපගේ පුත්‍රයා බොහෝ පින් ඇතියෙක, මොහු හා එක්ව පින් කළ කතක් ද සිටිය හැකි ය, ඇති නම් ඈ මේ රන්රුව සේම ශෝභන කාන්තාවක් විය හැකි ය. ඇය සෙවිය යුතුය”යි සිතා බමුණන් අටදෙනෙකු කැඳවා ඔවුනට සංග්‍රහ කොට රන්රුව රථයක තබා “මේ රූපයට සමාන රූ ඇති කාන්තාවක් අපට සෑහෙන පවුලක දුටහොත් එතැනට අත්තිකාරමක් වශයෙන් මේ රූපය දී එත්වා”යි කියා කාන්තාවක් සෙවීමට බමුණන් පිටත් කර යැව්වා ය.

“බමුණෝ කොහි යන්නෙම්දෝ ”යි සිතන්නාහු “මදු රට ලස්සන කතුන් උපදනා රටෙක, අපි පළමු කොට එහි යමු”ය යි සිතා එහි ගොස් සාගල පුරයට ඇතුළු වූහ. ඔවුහු එහි දී ගෙන ගිය රන්රුව එක් නානතොටක තබා සැඟවී බලා සිටියහ. එදවස භද්‍රාකාපිළානිගේ කිරිමව ඇය නහවා සරසා සිරියහන්ගැබ හිඳුවා තොමෝ නෑමට එන්නී රන්රුව දැක “භද්‍රා”ය යි සිතා කිපී “මේ අවිනීත කෙල්ල කුමට මෙහි අවුත් ඉන්නී දැ”යි තර්ජනය කොට කන්මුලට අතුල්පහරක් දිණ. ඇගේ අත්ල කළුගලකට ගැසූ කලෙක මෙන් පුපුරු ගැසුවේය. ඕ පස්සට පැන “මේ රළු මහ බෙල්ලක් ඇත්තියට ස්වාමිදුව යි රැවටුණෙමි ය, මෑ අප ස්වාමිදුවට වස්ත්‍ර දීමටවත් නුසුදුසුය”යි කීවා ය. එය ඇසූ බමුණෝ ඇය වටා සිට “තිගේ ස්වාමිදුව එසේ ම දැ”යි ඇසුවෝය. “මැගේ කිනම් ලස්සනක් ද මගේ ස්වාමි දූ මැයට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් ලස්සනය, ඈ දොළොස්රියන් කාමරයක සිටින්නී නම් එහි පහන් දැල්වීමක් වුවමනා නැත”ය යි ඈ කීවාය. “එසේ නම් අපි එහි යමු”ය යි රන්රුව රථයෙහි තබා ගෙන ඇය හා ගොස් කෝශිය ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගෘහද්වාරයෙහි සිට තමන්ගේ පැමිණීම දන්වා යැවූහ.

බ්‍රාහ්මණයා ඔවුන් පිළිගෙන පිළිසඳර කොට “කොහි සිට අවුදැ”යි විචාරා “මගධරට මාතොට නම් ගම කපිලබ්‍රාහ්මණගේ නිවසෙන් ය”යි කී කල්හි ආ කරුණ විචාළේය. ඔවුහු තමන් ආ කරුණ බමුණාට දැන්වූහ. එකල්හි බමුණා “යහපත දරුවෙනි, ඒ බ්‍රාහ්මණ පවුල අප හා සමාන ජාති ගෝත්‍ර සම්පත් ඇති තැනක , දැරිය දෙන්නෙමි”යි කියා ඔවුන් ගෙන ගිය පඬුරු පිළිගත්තේය. දැරියක් සෙවීමට ගිය බමුණෝ සුදුසු දැරියක් ලද බව කපිල බ්‍රාහ්මණයාට දැන්වූහ. මාපියෝ දැරියක් ලද බව පිප්ඵලීමාණවට දැන්වූහ.

එකල්හි පිප්ඵලි මාණවක තෙමේ “මම එබඳු දැරියක් නො ලබති යි සිතීමි. ලදුම්හ යි මොහු කියති, මෙය නවතාලීමට ඒ දැරියට රහසින් හස්නක් යවමි”යි සිතා “භද්‍රාවෙනි, මාගේ බලාපොරොත්තුව ගිහිව විසීමට නොව පැවිදි වීමට ය. ඒ නිසා මෙහි ඇවිත් අමාරුවට පත් නො වී තමාට සුදුසු සැමියකු ලබා ගන්න ය”යි රහසින් හස්නක් ලීවේ ය. භද්‍රා කුමරිය ද තමා සැමියකුට පාවා දෙන්නට යන බව අසා පිප්ඵලීමාණවට රහසින් හස්නක් ලීවා ය. එය ලීවේ ද තමා පැවිදිවන බලාපොරොත්තුවෙන් සිටින නිසා පිප්ඵලී මාණවකහට අන් බිරියක් සොයාගත යුතු බව දැන්වීම සඳහා ය. ඔවුන් දෙදෙනාගේම හසුන් සේවකයන් අත යැවූහ. අතරමග එක් තැනකදී ඒ හසුන් දෙකම වැඩිහිටියන්ට හසු විය. ඔවුන් ඒවා බලා ඉරා දමා අන් හසුන් දෙකක් පිළියෙල කර දෙදෙනාටම යැවූහ. වැඩිහිටියන්ගේ වුවමනාව අනුව කැමැත්ත නැති ඔවුන් දෙදෙනාගේ ම සමාගමය සිදු විය.

එදින පිප්ඵලී ද මල් දමක් ගොතවා ගත්තේ ය. භද්‍රා ද මල් දමක් ගොතවා ගත්තාය. රාත්‍රී භෝජනයෙන් පසු සැතපීමට ගිය ඔවුහු යහන මැද මල්දම් තබා “යමෙකුගේ පැත්තේ මල්දම් මලානික වුවහොත් ඔහුට රාගසිත් ඇතිවූ බව දත යුතුය” කියා එකිනෙකාගේ කයෙහි නො ගැටෙන සේ ඉතා පරෙස්සමින් නිදි නො ලබා රාත්‍රිය ගත කළෝය. එක යහනෙහි ඔවුනොවුන් නො ගැටී ශයනය කරන්නා වූ ඔවුහු දවල් කාලයේ ද ඔවුනොවුන් මුහුණ බලා රාග සිතින් සිනාසීමකුදු නො කරන්නාහ.

ඔවුහු මාපියන් ජීවත්වනතාක් ධනපරිහරණයෙන් ද තොරව විසූහ. මාපියන් ඇවෑමෙන් ඔවුනට එය කරන්නට සිදු විය. පිප්ඵලී මාණවකට සත් අසූකෝටියක් ධනය හිමිව තිබිණි. ඔහුගේ කරමාන්ත ප්‍රදේශය දොළොස් යොදුනක් විය. ඔහුට යන්ත්‍ර යෙදූ වැව් සැටක් විය, අනුරාධපුරය පමණ ඇති ගම් තුදුසක් විය. ඔහුට ඇත් ඇණි තුදුසක් ද, අස් ඇණි තුදුසක් ද, රිය ඇණි තුදුසක් ද වූහ.

දිනක් ඔහු සරසන ලද රථයකට නැගී ජනයා විසින් පිරිවරන ලදුව කර්මාන්තයන් බලා ඇවිදින්නේ සීසෑ තැන්වලින් පණුවන් මතුකොට කාකාදීන් විසින් කනු දැක, “මොවුහු කුමක් කත් දැ”යි අසා “ආර්‍ය්‍ය, පණුවන් කති”යි කී කල්හි “මොවුන් කරන මේ පව හිමිවන්නේ කාට දැ”යි ඇසීය. “ආර්‍ය්‍යෙනි, ඒ පාපය හිමිවන්නේ ඔබටය”යි ජනයෝ කීහ. එකල්හි පිප්ඵලී මාණවක තෙමේ “මේ පාපය වන්නේ මට නම් මේ ධනයෙන් මට කවර ප්‍රයෝජනයක් ද? මේ සියල්ල භද්‍රාවට දී පැවිදි වන්නෙමි”යි සිතා ගත්තේ ය.

එදින භද්‍රා ද ඇතුළු මිදුලෙහි තලසැළි තුනක් වනා කිරිමවුන් හා සිටින්නී කවුඩන් විසින් තල පණුවන් කනු දැක “මොවුන් කුමක් කත් දැ”යි අසා “තල පණුවන් ය”යි කී කල්හි “මෙහි පාපය වන්නේ කවරකුට දැ”යි ඇසීය. කිරිමවුහු “ඔබට ය”යි කිවූය. “මෙතෙක් සතුන් කරන පාපය හිමි වන්නේ මට නම් ජාති දහසකිනුදු මට සංසාරයෙන් ගොඩ නැඟෙන්නට නො පිළිවන්නේ ය, මේ ධන පරිහරණයෙන් මට ඇති යහපතක් නැත. මට වුවමනා සතර රියන් වස්ත්‍රයක් හා බත් නැළියකි. සැමියා පැමිණි කල්හි සියල්ල ඔහුට භාර දී පැවිදිවන්නෙමි”යි භද්‍රා සිතුවා ය.

භද්‍රා හා පිප්ඵලී මානවක පැවිදිවීම

මානවක අවුත් ස්නානය කොට ප්‍රාසාදයට නැග මහඟු පලඟෙහි හිඳ ගත්තේ ය. ඔහුට චක්‍රවර්ති රජුගේ භෝජනය බඳු සුමිහිරි බොජුනක් එළවූහ. දෙදෙනාම ආහාර ගෙන සේවකයන් බැහැරවූ කල්හි විවේක ස්ථානයක අසුන් ගත්හ. මානවක තෙමේ බිරිඳ අමතා “සොඳුර, ඔබ මේ ගෙට එන කල්හි කොතෙක් ධනය ගෙන ආවෙහි දැ”යි කීය. “හිමියෙනි, ගැල් පනස් පන් දහසකැ”යි භද්‍රා කීවා ය. “ඒ සියල්ලත් මේ ගෙයි ඇති සත් අසූ කෝටියක් ධනයත් සියලු ගම් බිමුත් ඔබටම පවරමි”යි මානවක කීය. “ඔබ කොහි යන්නට දැ”යි භද්‍රා ඇසුවා ය. “මම පැවිදි වන්නෙමි”යි මානවක කීය. එකල්හි භද්‍රා කියන්නී “මමත් පැවිදි වීමේ බලාපොරොත්තුවෙන් ඔබ පැමිණෙන තුරු සිටියෙමි”යි කීවා ය.

ඔවුනට භවත්‍රය ගිනිගත් ගෙයක් සේ වැටහිණ. ඔව්හු වෙළඳ සැලකින් කසාවත් හා මැටිපාත්‍ර ගෙන්වා ගෙන ඔවුනොවුන්ම හිසකේ ඉවත් කර ගෙන “ලෝකයෙහි යම් රහත් කෙනෙක් වෙත්නම් අපගේ පැවිද්ද ඔවුන් උදෙසා ය”යි කහවත් හැඳ පොරවා කරෙහි පාත්‍ර එල්වා ප්‍රාසාදයෙන් බැස ගියෝ ය. ගෙයි විසූ කිසිවෙක් ඔවුන් නො හැඳින ගත්හ. ඔවුන් බමුණු ගමින් නික්ම දාසකර්මකාර ග්‍රාමද්වාර වලින් යන කල්හි එහි වැස්සෝ හැඳින ගත්හ. ඔවුන් හඬමින් පාමුල වැඳ වැටී “අප කුමට අනාථ කළෝ දැ”යි කිවූහ. “දරුවෙනි, අපි භවත්‍රය ගිනිගත් ගෙයක් සේ පෙනී පැවිදි වීමු. තොප එකිනෙකා නිදහස් කරන්නට ගියහොත් සියක් අවුරුද්දක් ද මඳවන්නේ ය. දැන් තෙපි ම තොපගේ හිස් සෝදා ගෙන නිදහස් මිනිසුන් වශයෙන් ජීවත් වවු ”ය යි කියා ඔවුන් හඬද්දී ම තාපස යුවළ නික්ම ගියහ.

පිප්ඵලි මාණවකහට පැවිදි වීමෙන් පසු ව්‍යවහාර වී ඇත්තේ කාශ්‍යප යන නාමය ය. මඟට පිළිපන් තාපසතුමා සිතනුයේ “මා පසුපස මුළු දඹදිව පමණ වටිනා ස්ත්‍රීරත්නයක් එන්නී ය. මෙසේ යන අප දන්නා සමහරුන් “පැවිදිවීත් මොහුනට වෙන් විය නොහැකැයි සිතනු ඇත. පැවිදි වී මොහු අකටයුත්තක් කෙරෙතියි අප කෙරෙහි සිත් දූෂ්‍යකර ගෙන ඇතමුන් අපායට ද යනු ඇත. එබැවින් මා විසින් මැය හැර යා යුතුය”යි සිතී ය.

අඹුසැමියන් වෙන්වීම

ස්ථවිරතුමා යනුයේ දෙමන්සලකට පැමිණ එහි නැවතිණ. භද්‍රා ද පැමිණ ස්ථවිරයන් වැඳ සිටියා ය. එකල්හි ස්ථවිරතුමා කියනුයේ “සොදුර, තී වැනි ශෝභන ස්ත්‍රීයක් මා පස්සේ එනු දක්නා බොහෝ ජනයෝ “පැවිදි වීත් මොවුනට වෙන් විය නොහෙති”යි අප කෙරෙහි සිත් දූෂ්‍ය කර ගෙන අපායට යන්නාහ. එබැවින් මේ දෙමඟින් තී එක් මඟක් ගනුව, මම අනික් මඟ ගනිමි”යි කීය.

එකල්හි භද්‍රා කාපිළානි කියන්නී “එසේ ය ආර්‍ය්‍යන් වහන්ස, මාගම පැවිද්දන්ට කිලුටෙක, මොවුහු පැවිදිවීත් වෙන් නොවෙති යි දොස් දකිති. නුඹ වහන්සේ එක් මඟක් ගනු මැනව, අප වෙන්වෙන්නෙමු”යි තුන්යලක් තෙරුන් වහන්සේ පැදකුණු කොට සතර තැනක පසඟ පිහිටුවා වැඳ නැඟට ඇඳිලි බැඳ “කල්ප ලක්ෂයක් පැවති මිත්‍රසන්ථවය අද කෙළවර වන්නේ ය. ඔබ දකුණෙන් ඉන්නා ජාතියේ ය. මම වමින් ඉන්නා ජාතියේ ය. එබැවින් නුඹ වහන්සේට දකුණු මඟ සුදුසු ය. අපට වම් මඟ සුදුසුය”යි කියා වම් මඟට පිළිපන්නීය. පින්වතුන් දෙදෙනා වෙන් වෙන කල්හි මහ පොළොව ගුගුරමින් කම්පා විය. අහස ගිගුරුවේ ය. සක්වළගල මහ හඬ නැංවී ය.

බුදුරදුන් පෙර ගමන් කිරීම

මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේළුවන මහා විහාරයේ ගඳකිළියෙහි වැඩ වෙසෙන සේක් පොළොව සැලෙන හඬ ඇසී කවරකු නිසා පොළොව කම්පා වේදැ”යි බලන සේක් පිප්ඵලි මාණවක භද්‍රාකාපිළානි යන දෙදෙනාගේ වෙන්වීම නිසා බව දැක, “මේ පින්වතුන් දෙදෙනා අප්‍රමාණ ධනස්කන්ධයක් හැර මා උදෙසා පැවිදි වූහ. මා විසින් ද ඔවුනට සංග්‍රහ කිරීම වටනේය”යි ගඳකිළියෙන් නික්ම කිසිවකු නො අමතා තමන් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ පා සිවුරු ගෙන තුන් ගව්වක් දුර පෙර ගමන් කොට රජගහ නුවරට හා නාලන්දාවටත් අතර බහු පුත්‍රික නම් නුගරුක යට පර්යංකය බැඳ වැඩ හුන් සේක. එදා උන්වහන්සේ සාමාන්‍ය පැවිද්දකු මෙන් නො හිඳ ඔවුන්ට හැඳින ගත හැකි වනු පිණිස අසූ රියන් තැන් ගන බුදුරැස් විහිදුවමින් බුද්ධ වේශයෙන්ම වැඩ හුන් සේක.

එකල්හි ඒ වනය කුඩ පමණවූ ද රියසක් පමණවූද ගෙවල් පමණවූද බුද්ධරශ්මි පුඤ්ජයන් ඔබ මොබ ගමන් කිරීම නිසා හිරු දහසක් සඳ දහසක් පෑවූ කලෙක මෙන් ආලෝකවත් විය. දිලිසෙන තාරකා සමූහයක් ඇති අහස මෙන් ද, මොනොවට පිපුණු සුදු රත් නෙළුම්මලින් ගැවසුණු ජලතලයක් මෙන් ද, වනය බැබලිණ. නුගරුකෙහි කඳ සුදු ය, පත් නිල්ය, ගෙඩි රතු ය, එදා සියලු නුගරුක ස්වර්ණ වර්ණයෙන් බැබලිණ. මහකසුප් තෙරණුවෝ දුරදීම බුදුරදුන් දැක “මුන්වහන්සේ මාගේ ශාස්තෲවරයාණෝය, මාගේ පැවිද්ද මුන්වහන්සේ උදෙසාය”යි දුටු තැන සිට නැමි නැමී තථාගතයන් වහන්සේ වෙත එළඹ තුන් තැනක් හිඳ වැඳ “සත්ථා මෙ භන්තේ භගවා, සාවකෝ හමස්මි, සත්ථා මෙ භන්තෙ භගවා, සාකො හමස්මි” යනුවෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ මාගේ ශාස්තෲවරයාය. මම නුඹ වහන්සේගේ ශ්‍රාවක වෙමිය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ මාගේ ශාස්තෲවරයාය, මම නුඹ වහන්සේගේ ශ්‍රාවකවෙමි”යි කීය.

කාශ්‍යප තෙරුන් වහන්සේට උපසම්පදාව දීම.

එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් “කාශ්‍යපය, යම් ශාස්තෲවරයෙක් නුඹ සේ මුළු සිතින්ම ශ්‍රාවකත්වය ප්‍රකාශ කරන ශ්‍රාවකයකු නො දැනම දනිමියි කියා නම් නො දැකම දකිමි යි කියා නම් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේ ය, කාශ්‍යපය, මම වනාහි මේ චතුස්සත්‍ය ධර්මය දැන ගෙනම දනිමි යි කියමි, දැකම දකිමි යි කියමි”යි වදාරා “තස්මාතිහ තෙ කස්සප එවං සික්ඛිතබ්බං” යනාදීන් අවවාද තුනක් දී වදාළ සේක. කාශ්‍යපයන් වහන්සේ ඒ අවවාදත්‍රය අත්‍යාදර ගෞරවයෙන් පිළිගත්හ. ඒ අවවාද පිළිගැනීම ම උන්වහන්සේගේ උපසම්පදාව විය. අනේක ප්‍රකාර උපසම්පදාවන් අතුරෙන් එය ඕවාදපටිග්ගහණ උපසම්පදා නම් වේ.

මහාකාරුණිකවූ බුදුරජාණන් වහන්සේ, අවවාද තුනෙන් මහාකසුප් තෙරුන් වහන්සේට උපසම්පදාව නමැති උත්තම තත්ත්වය ප්‍රදානය කොට තෙරුන් වහන්සේ ද සමඟ බහුපුත්‍රිකන්‍යග්‍රෝධ වෘක්ෂමූලයෙන් බැහැරව මඟට පිළිපන් සේක. බුදුන් වහන්සේ මඳ දුරක් ගමන් කොට මඟින් ඉවත්ව, එක්තරා ගසක් මුල වැඩ හිඳිනු කැමැති ආකාර දැක්වූ සේක. තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ වැඩ සිටිනු කැමැත්ත දැක, තමන් වහන්සේගේ පටරෙදි වලින් කළ සඟළ සිවුර සතරට නමා තථාගතයන් වහන්සේට වැඩ සිටිනු පිණිස අතුළහ.

සිවුරු මාරු කිරීම

ශාස්තෲන් වහන්සේ සඟළ සිවුර මත වැඩ සිටිසේක. ඉක්බිති උන්වහන්සේ එය පිරිමදිමින් “කාශ්‍යපය, නුඹේ මේ පට දෙපට සිවුර මෘදුය”යි වදාළ සේක. එකල්හි තෙරණුවෝ “ශාස්තෲන් වහන්සේ මගේ සිවුරෙහි මෘදු බව කථනය කරන්නාහ, උන්වහන්සේ මාගේ සිවුර පොරවනු කැමැත්තෝ ය”යි සිතා, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මගේ මේ පට පිළියෙන් කළ සඟළ සිවුර පිළිගන්නා සේක්වා”යි වදාළහ. එකල්හි තථාගතයන් වහන්සේ “කාශ්‍යපය, පරිභෝගයෙන් දිරා ඇති මේ පාංසුකූල චීවරය නුඹට දැරිය හැකිදැ”යි වදාළ සේක. “එසේය හිමියනි, ලැබෙතොත් ඒ පාංසුකූල චීවරය පරිභෝග කරමි”යි තෙරණුවෝ කීහ. එකල්හි තථාගතයන් වහන්සේ “මා විසින් මේ පාංසුකූලය ගත් දිනයෙහි මහපොළොව සැලිණ. බුදුන් විසින් පරිභෝගකර දිරූ මේ චීවරය මඳ ගුණැතියකු විසින් පරිභෝග නො කළ හැකිය. මෙය පිළිගන්නට වටනේ පිළිවෙත් පිරීමට සමත් ජාති පාංශුකූලික භික්ෂුවක් විසින්ම යැ”යි වදාරා තෙරුන් වහන්සේ සමඟ සිවුරු මාරු කර ගත් සේක. ඉන්පසු තෙරුන් වහන්සේ විසින් පෙරවූ සිවුර බුදුන් වහන්සේ පෙරවූ සේක. බුදුන් වහන්සේගේ චීවරය තෙරුන් වහන්සේ පරිභෝග කළහ. එකෙණෙහි මහ පොළොව කම්පිත විය.

තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයෙහිම තෙළෙස් ධුත ගුණයන් සමාදන්ව සත් දිනක් පමණක් පෘථග්ජන භාවයෙන් සිට අටවන දිනයේ සව් කෙලෙසුන් නසා, අර්හත් ඵලයට පැමිණ වදාළ සේක. පසු කාලයේදී සර්වඥයන් වහන්සේ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ගුණ වදාරා “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ධුතවාදානං යදිදං මහාකස්සපො” යනුවෙන් උන්වහන්සේ බුදු සස්නෙහි ධූතවාදීන්ගෙන් අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක.

(මේ මහාකාශ්‍යප චරිතය මනෝරථපූරණී, සංයුත්ත නිකායට්ඨකථා, අපදානට්ඨකථා යන ග්‍රන්ථයන් හි දක්නා ලැබේ.)

මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට කල්ප ලක්ෂයක්ම දුර්ගතියකට පැමිණෙන්නට සිදු නොවී දෙව් මිනිස් දෙගතියෙහි නොයෙක් සැප සම්පත් ලැබීමට හා අප බුදුරදුන්ගේ සසුනෙහි අර්හත්ඵලයට පැමිණ ධුතවාදීන්ගෙන් අගතැන් ලැබීමටත් මූල හේතුව වූයේ පදුමුත්තර බුදුරදුන්ගේ අරහං ගුණය ය. මෙසේ ලොව්තුරා බුදුරදුන්ගේ අරහං ගුණයේ බලයෙන් උන්වහන්සේලා කෙරෙහි සිත පහදා ගැනීම වැඳීම උන්වහන්සේලාට වත් පිළිවෙත් කිරීම මල් පහන් ආහාර සුවඳදුම් වස්ත්‍රාදිය පිදීම යනාදියෙන් නොයෙක් සම්පත් ලද පුද්ගලයන්ගේ චරිතකථා බොහෝ ගණනක් බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබේ. ඒවා ඒ ඒ ග්‍රන්ථවලින් බලාගත යුතුය.

අරහං ගුණයේ මහන්තත්වය

බුදුරජාණන් වහන්සේ වනාහි අග්ගදක්ඛිණෙය්‍ය යන නම ලබන රහතුන් පසේබුදුවරුන් ඇතුළු ලෝකයා විසින් වැදුම් පිදුම් කරන රජුන් ඇතුළු දෙවියන් ඇතුළු ශක්‍ර - බ්‍රහ්මයන් ඇතුළු මනුෂ්‍යය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රයෙහි සැම දෙනා විසින් ගරු බුහුමන් කිරීමට වැඳුම් පිඳුම් කිරීමට සුදුසු වන සේක. තථාගතයන් වහන්සේ විසින් ගරු බුහුමන් කිරීමට වැඳුම් පිඳුම් කිරීමට සුදුසු කෙනෙකු ලෝකත්‍රයෙහි කොතැනකවත් නැත.

ලොවුතුරා බුදුබව ලැබූ අළුත උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරානදී තීරයේ අජපාල නම් නුගරුක මුල විවේකීව වෙසෙන අවස්ථාවක අප භාග්‍යවතුන් වහන්සේට එක්තරා කල්පනාවක් ඇති විය. “ගරුබුහුමන් කරමින් යටහත්ව ඇසුරු කළ යුතු පුද්ගලයකු ඇසුරු නො කොට කිසිවකුට ගරු බුහුමන් නො කරමින් ස්වච්ඡන්දයේ සැටියට ම ජීවත් වීම දුකෙකි” යනු උන්වහන්සේට ඇති වූ කල්පනාවය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යටහත්ව ගරුබුහුමන් කරමින් ඇසුරු කිරීම සඳහා තමන් වහන්සේට වඩා ශීලයෙන් වැඩි කෙනෙකු ඇතිදැ යි ලොව බලා වදාළ සේක.

වැඩි ශීලයක් ඇතියෙක් කොතැනකවත් නොපෙණින. “තමන් වහන්සේට සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්තඥානදර්ශනයෙන් වැඩි ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් දෙවියෙක් බඹෙක් ඇත්තේ දැ”යි බැලූ සේක. කොතැනකවත් නොදුටු සේක. තමන්වහන්සේට වැඩි ශීලාදී ගුණයක් ඇතියකු කොතැනකින්වත් නුදුටු භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද ධර්මයටම ගරු බුහුමන් කෙරෙමින් එය ගුරුතන්හි තබා වාසය කරන්නට ඉටා ගත්හ. තථාගතයන් වහන්සේ විසින් ගරු බුහුමන් කිරීමට සුදුස්සන් ලොව නැත්තේ උන්වහන්සේ සැමටම වඩා ශීලාදි ගුණයෙන් උසස්ව සිටින නිසා ය. තථාගතයන් වහන්සේට ඇති ඒ මහත්වූ ශීලාදී ගුණස්කන්ධය අනුව අරහං ගුණයෙන් මහන්තත්වය සැලකිය යුතුය.

අරහං ගුණයේ බලමහිමය

තථාගතයන් වහන්සේ අරහං ගුණය විශාලවා පමණක් නොව මහත් වූ ආනුභාවයකින් ද යුක්ත ය. එබැවින් වයසින් හෝ අන්කිසි ගුණයකින් හෝ තමා වැඩිය කියා ලෝකයෙහි කිසිම පුද්ගලයකුට බුදුරදුන්ගෙන් වැඳුම් නො ලැබිය හැකිය. දිනක් තථාගතයන් වහන්සේ වේරඤ්ජාවෙහි වැඩ වෙසෙන කල්හි උන්වහන්සේගේ කීර්තිය අසා වේරඤ්ජ නම් බ්‍රාහ්මණයා උන්වහන්සේ දක්නට පැමිණ පිළිසඳර කථා කොට එකත්පසෙක හිඳ මෙසේ කීය. “පින්වත් ගෞතමයන් රාජපරම්පරා ගණනක් ආයු ගෙවා ඇති මහළු බ්‍රාහ්මණයන්ට වඳින්නේ හෝ දැක හුනස්නෙන් නැගිටින්නේ හෝ අසුනක් දෙන්නේ හෝ නැතය යි මා අසා තිබේ. පින්වත් ගෞතමයෙනි, මා අසා තුබූ කරුණ එසේම ය.” එකල්හි තථාගතයන් වහන්සේ,

“නාහං තං බ්‍රාහ්මණ පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යමහං අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය, යං හි බ්‍රාහ්මණ තථාගතො අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය මුද්ධාපිස්ස විපතෙය්‍යාති.”

(අංගුත්තර අට්ඨකනිපාත 20)

යනුවෙන් “බ්‍රාහ්මණය, මා විසින් වැඳීමට හෝ හුනස්නෙන් නැගිටීමට හෝ අසුනක් දීමට හෝ සුදුසු ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ දෙවියකු බ්‍රහ්මයකු හෝ අනිකකු නො දකිමි, බ්‍රාහ්මණය, යමකුට මා විසින් වැන්දේ හෝ අසුනෙන් නැඟිටියේ හෝ අසුනක් දුන්නේ හෝ වේ නම්, තැරියෙන් ගිලිහී තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේ ය”යි වදාළ සේක. එසේ වීම තථාගතයන් වහන්සේගේ අරහං ගුණයේ ආනුභාවය ය.

බුදුරදුන්ට ඒ අරහං ගුණය ඇතිවූයේ සවාසනා සකලක්ලේශ ප්‍රහාණයෙන් අර්හත්වයට පැමිණ ලොවුතුරා බුදුබව ලැබීමෙනි. බෝධිසත්ත්ව කාලයේදී ද ඒ අරහං ගුණයේ බීජය උන්වහන්සේට තිබිණ. නියම අරහං ගුණය නොව ඒ ගුණ බීජය ද මහානුභාව සම්පන්නය. සිද්ධාර්ථ කුමාරයන් උන්වහන්සේ මව් කුසින් බිහිව දිශාවලෝකනය කළ කල්හි ඒ බිළිදාට සෑම දිශාවක හුන් මනුෂ්‍ය දිව්‍ය බ්‍රාහ්මණයෝ සුවඳමල් ආදිය පුදා “ඔබට වැඩිකෙනෙකු තබා ඔබ හා සම කෙනෙකු ද නැතය”යි කීහ. එකල්හි උන්වහන්සේ උතුර බලා සත් පියවරක් ගමන් කොට “අග්ගොහමස්මි ලෝකස්ස සෙට්ඨොහමස්මි ලෝකස්ස ජෙට්ඨොහමස්මි ලෝකස්ස”යි සිංහනාද කළහ. ශුද්ධෝදන මහාරාජාදි ගෘහස්ථයන් විසින් වඳින පුදන මහානුභාවසම්පන්න කාලදේවල තාපසයෝ උන්වහන්සේට වැන්දාහ. දරුවන් විසින් මාපියනට වැඳිය යුතු වුව ද ශුද්ධෝදන රජතුමා බෝසතාණන්ටම වැන්දේ ය. ඒ බීජ අවස්ථාවෙහිවූ අරහං ගුණයේ ආනුභාවය ය.

ලෝකයෙහි අන් කිසිවකුට නො ලැබෙන පරිදි අප්‍රමාණ චීවරාදි ප්‍රත්‍යයන් ලැබීම ද තථාගතයන්වහන්සේගේ අරහං ගුණයේ ආනුභාවයෙකි. ජීවමාන කාලයේදී උන්වහන්සේට කෝටි සංඛ්‍යාත ධන වියදමින් අනාථපිණ්ඩිකාදි සැදැහැවත්හු විහාරාරාම කරවා පූජා කළහ. ගඟක් ගලායන්නාක් මෙන් අපමණ ආහාරපාන වස්ත්‍රාදිය උන්වහන්සේ කරා ගලා එන්නට විය. මිනිසුන් පමණක් නොව දේව බ්‍රාහ්මාදීහුද උන්වහන්සේට අපමණ පූජා පැවැත්වූහ. පිරිනිවීමෙන් පසු ද අද දක්වාමත් උන්වහන්සේට අපමණ පූජාසත්කාර ලැබෙන්නේ ය. පිරිනිවී වර්ෂ දෙදහස් පන්සියයකට අධික කාලයක් ගත වී ඇති අද ද උන්වහන්සේට ලැබෙන පූජා ඉතා බොහෝ ය. නොයෙක් රටවල වෙසෙන නානා ජාතික බෞද්ධ ජනයා විසින් විහාරවල හා තමන්ගේ නිවෙස්වල ද එක්දිනක බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන ගිලන්පස මල් ආහාරපාන රාශිය එක්තැන් කළහොත් තරමක කන්දක් පමණ වනු ඇත. උන්වහන්සේ උදෙසා එක් දිනක දැල්වෙන පහන් ද ඉතා බොහෝය. වෙසක් පුණුපොහෝ දින ආදි විශේෂ දිනවලදී ලැබෙන පූජාව සාමාන්‍ය දිනවලට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් අධික වන්නේය. අනාගතයෙහි දීර්ඝකාලයක් මෙසේම උන්වහන්සේට අපමණ පුද පූජා ලැබෙනු ඇත.

අරහං යන වචනයේ නොයෙක් තේරුම්

භාෂාවක වචන වලින් ඇතැම් වචනයකට ඇත්තේ එක් තේරුමකි. ඇතැම් වචන වලට තේරුම් දෙක තුන සතර පහ ඇත්තේ ය. ඇතැම් වචනයකට බොහෝ තේරුම් ඇත්තේ ය. අරහං යන වචනය බොහෝ තේරුම් ඇති වචනයෙකි. මෙතෙකින් විස්තර කරන ලද්දේ අරහං යන වචනයෙහි දක්ෂිණාව පිළිගැනීමට සුදුසු ය යන තේරුම ය. බුද්ධගුණයන් අතුරෙන් දක්ෂිණාව පිළිගැනීමට සුදුසු බවවූ ගුණය ලෝකයාට ඉතා ප්‍රයෝජනවත් ගුණය වේ. ඒ නිසා දක්ෂිණාව පිළිගැනීමට සුදුසුය යන මේ තේරුම අරහං යන වචනයේ ප්‍රධාන තේරුම සැටියට කිය යුතු ය.

“අනුත්තරං ධම්මචක්කඤ්ච ආණාචක්කඤ්ච පවත්තෙතුං අරහතී ති අරහා” යි විග්‍රහ කොට “අනුත්තර වූ ධම්මචක්‍රය හා ආඥාචක්‍රය පැවැත්වීමට සුදුසුය යන අර්ථයෙන් තථාගතයන් වහන්සේ අරහං නම් වෙතැ”යි ආචාර්යවරයෝ පවසති. මේ ක්‍රමය විශුද්ධිමාර්ගාදියෙහි දක්වා නැත. එසේ අර්ථය ගන්නා කල්හි තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති අනුත්තර ධර්මචක්‍රය හා ආඥාචක්‍රය පැවැත්විය හැකි ශක්තිය ද අරහං ගුණය වේ.

ධර්මචක්‍රය

ප්‍රතිවේධ ධර්මචක්‍රය දේශනා ධර්මචක්‍රය යි ධර්මචක්‍ර දෙකකි. අතීත ලෝකයෙහි සතුරන් නසනු පිණිස පාවිච්චි කරන චක්‍රායුධ නම් ආයුධ විශේෂයක් තිබිණ. එය කැරකෙන කල්හි හසු වූවන් කැපී යන රෝදයෙකි. සතුරු ජනයා මැදට එය ගෙන ගොස් කරකවති. එයට හසු වන සැම දෙනම කැපී යති. තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් එය පවත්වන කල්හි කෙලෙස් සතුරෝ කැපී යෙති. එබැවින් ඒ ධර්මයටද ධර්මචක්‍රය යි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ බෝධිපර්‍ය්‍යංකයෙහි වැඩ හිඳ ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි උන්වහන්සේගේ සන්තානයෙහි උපදවා ගන්නා ලද ඉන්ද්‍රිය බල බෝධ්‍යංග මාර්ගංගාදි ධර්ම සමූහයේ බලයෙන් උන්වහන්සේට සතුරු වන එක් දහස් පන්සියයක් ක්ලේශයෝ චක්‍රායුධයෙන් මෙන් කැපී ගියහ. කෙලෙසුන් නැසීමට තථාගතයන් වහන්සේට උපකාර වූ ඒ ධර්මසමූහය ප්‍රතිවේධ ධර්මචක්‍ර නම් වේ. තථාගතයන් වහන්සේ බෝධිමූලයේදී ප්‍රතිවේධ ධර්ම චක්‍රය පවත්වා සව්කෙලෙසුන් නසා ලොවුතුරා බුදුබවට පැමිණ වදාළ සේක.

සර්වඥයන් වහන්සේ විසින් කරන ධර්මදේශනය අසන්නා වූ මනුෂ්‍ය දේව බ්‍රහ්මයන්ගේ සන්තානවල පවත්නාවූ රාගාදි ක්ලේශධර්මයෝ ඒ ධර්මයේ බලයෙන් කැපී යෙති. දුරු වෙති. එබැවින් ඒ ධර්මය ද සතුරන් කපන චක්‍රායුධයක් වැනි ය. එබැවින් එයට දේශනා ධර්මචක්‍රය යි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ විසින් පළමුවරට බරණැස් ඉසිපතනයේදී දේශනා ධර්මචක්‍රය පවත්වන ලද්දේ ය. එය ඇසූ පස්වග මහණුන් ඇතුළු බොහෝ දේවබ්‍රහ්මයන් තුළ පැවති කෙලෙස් සතුරෝ එහි ආනුභාවයෙන් දුරු වූහ. දේශනඥානයටම ද ධර්මචක්‍රය යි කියනු ලැබේ. සත්ත්වයනට ඒ ධර්ම දේශනය කිරීම දම්සක් පැවැත්වීම නම් වේ. ඉතා තියුණුවූ ද වේගවත්වූ ද නුවණ ඇත්තා වූ සර්වඥයන් වහන්සේට කිසි තැනක පැකිළීමක් ඇණ සිටීමක් නැතිව අහසින් පොළොවට ගලා වැටෙන ගඟක් වේ නම් එහි ජලවේගය මෙන් ඉතා වේගයෙන් ඒ ධර්මය දේශනය කළ හැකිය. අසන්නවුන්ගේ සිත්වලට කා වැදෙන පරිදි - සිත්වල පිහිටන පරිදි දේශනය කළ හැකිය. අසන්නවුන්ට අවබෝධ වන පරිදි දේශනය කළ හැකිය. සියක් යොදුනකින් ඔබ සිට අසන්නකුට වුව ද ළඟ සිට අසන්නකුට සේ ඇසෙන පරිදි ධර්මය දේශනා කළ හැකිය. සතරදිගම සිට අසන්නවුන්ට නො වෙනස්ව ඇසෙන පරිදි ධර්මය දේශනය කළ හැකිය. ලෝකයෙහි අන්කිසි ශ්‍රමණයකුට බ්‍රාහ්මණයකුට හෝ දෙවියකුට බ්‍රහ්මයකුට හෝ එසේ දම්සක් පැවැත්වීමක් නො කළ හැකිය. තථාගතයන් වහන්සේම දම්සක් පැවැත්වීමට සුදුසුවූ සේක. අරහං යන පදයෙන් ඒ සුදුසු බව කියැවේ. ඒ සුදුසු බවද තථාගතයන් වහන්සේගේ අරහං ගුණය ය.

“එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං”

(සංයුක්ත නිකාය ධම්මචක්ක සු.)

යනුවෙන් තථාගතයන් වහන්සේගේ ධර්මචක්‍රයේ අනුත්තරභාවය දක්වා තිබේ. “යම්කිසි ශාස්තෲවරයකු විසින් ප්‍රකාශිත ධර්මය එසේ නො විය හැකිය” කියා අනිකකු විසින් කරුණු සහිතතව ප්‍රතික්ෂේප කළ හැකි නම් අවලංගු කළ හැකි නම් ඒ ධර්මය යහපත් නොවේ. “තථාගතයන් වහන්සේ විසින් මේ දුකය කියා යම් ධර්මයක් ප්‍රකාශ කරන ලද නම් ඒ ධර්මය දුඃඛ සත්‍යය නො වේය” කියා ලෝකයෙහි කිසිම ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ දෙවියෙකුට බඹකුට හෝ කරුණු සහිතව ඔප්පු කොට ප්‍රතික්ෂේප නො කළ හැකි ය. “තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත දුඃඛසත්‍යය නියම දුඃඛසත්‍යය නොවේය. නියම දුඃඛ සත්‍යය මේය”යි අනික් දු:ඛසත්‍යයක් ද නො දැක්විය හැකි ය. තථාගතයන් වහන්සේ විසින් වදාළ සමුදය නිරෝධ මාර්ගසත්‍යයන් ද කරුණු සහිතව කිසිවකුට ප්‍රතික්ෂේප නො කළ හැකි ය. ඒවා වෙනුවට අන් සත්‍යයන් නො දැක්විය හැකිය. තථාගතයන් වහන්සේ විසින් වදාළ කුශලාකුශලාදී ධර්මයන්ද කිසිවකු විසින් අවලංගු නො කළ හැකි ය. ඒවා වෙනුවට අන්‍ය ධර්මයන් ද නො දැක්විය හැකිය. ලෝකයෙහි කිසිම සමතකුට තථාගතයන් වහන්සේ ගේ ධර්මචක්‍රය අනික් අතට පෙරලිය හැකි නොවන බැවින් එය අනුත්තර ධර්ම චක්‍රය වේ. අනුත්තර යන්නෙහි තේරුම සියල්ලට උතුම්ය යනු යි.

තථාගතයන් වහන්සේ විසින් පවත්වන අනුත්තර ධර්මචක්‍රයෙහි මහානුභාවයක් ද ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ ධර්මය කන වැටීමෙන් අංගුලිමාලාදී මහාප්‍රචණ්ඩයෝ සෞම්‍යයෝ වෙති. අහක දමන දෙයකුදු දීමට නො කැමති මහ මසුරෝ ත්‍යාගවත්හු වෙති, පාරදාරිකයෝ සජ්ජනයෝ වෙති. මෘෂාවාදීහු සත්‍යවාදීහු වෙති. සුරාසොණ්ඩයෝ - සූදුකාරයෝ සජ්ජනයෝ වෙති, අලසයෝ වීර්‍ය්‍ය ඇත්තෝ වෙති. පඤ්චකාම නැමති මඩෙහි එරී සිටියෝ එයින් ගොඩ වෙති, ගිහියෝ පැවිදි වෙති, නොරහත්හු රහත් වෙති, රෝගීහු නිරෝගී වෙති, මැරෙන්නට ඉන්නෝ දිවි ලබති, අපායට යන්නට සිටින්නෝ සුගතියට යෙති, අපමණ සත්ත්වයෝ ජාති ජරා ව්‍යාධි මරණාදි දුක්වලින් මිදී නිවන් සුව ලබති. මේ ධර්මචක්‍රයේ අනුභාවයය.

පුණ්‍යානුභාවයෙන් චක්‍රරත්නය පහළ වූ රජුට “චක්‍රවර්ති රජය”යි කියනු ලැබේ. ඔහුට කිසිවෙකු ගෙන් බාධාවක් නැතිව මුළු පොළොවෙහිම චක්‍ර රත්නයේ බලයෙන් ගමන් කළ හැකි ය. ප්‍රදේශ රජහු එතුමා ගෞරවයෙන් පිළිගෙන එතුමාට අනුකූල වෙති. තථාගතයන් වහන්සේද කිසිවෙකුගෙන් බාධාවක් නැතිව ලෝකයෙහි අනුත්තර “ධර්මචක්‍රවර්තිරාජයෝ” වෙති. තමන් වහන්සේගේ රාජභාවය උන්වහන්සේ විසින්ම සේල බ්‍රාහ්මණයා හට මෙසේ වදාරා ඇත්තේ ය.

“රාජා හමස්මි සෙල - ධම්මරාජා අනුත්තරො,
ධම්මේන චක්කං වත්තේමි- ලෝකෙ අප්පටිවත්තියං”

(මජ්ඣිමනිකාය සෙලසුත්ත)

“සේලය මම රජ වෙමි, අනුත්තරවූ ධර්මරාජ වෙමි, කිසිවකු විසින් ආපසු නො පෙරළිය හැක්කාවූ ධර්මචක්‍රය මම දැහැමින් ලෝකයෙහි පවත්වමි”ය යනු එහි තේරුමය.

තථාගතයන් වහන්සේගේ ආඥාචක්‍රයට සමාන ආඥාචක්‍රයක් ලෝකත්‍රයෙහි අන් කිසිවකුට නැත්තේය. ආඥා බලය ඇති රාජාදීන්ගේ අණසක පවත්නේ සුළු පෙදෙසක පමණෙකි. චක්‍රවර්ති රජුගේ ආඥා චක්‍රය වුව ද පවත්නේ ද්වීප සතරෙහි පමණෙකි. භාග්‍යවතුන් වහසේගේ ආඥාචක්‍රය කෝටි ලක්ෂයක් සක්වළවල පවත්නේ ය. එබඳු විශාල ආඥාචක්‍රයක් දෙවියකුට ද නැත.

විසල්පුර වැසියන්ට තෙ වැදෑරුම් භය දුරු කරනු පිණිස තථාගතයන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළ සේක. එහි අණ කෝටි ලක්ෂයක් සක්වළවල අමනුෂ්‍යයෝ පිළිගත්හ. එහි බලය කෝටි ලක්ෂයක් සක්වළවල පවතී. එසේම ධජග්ගපරිත්ත, ඛන්ධපරිත්ත, මෝරපරිත්තාදියේ බලය ද කෝටි ලක්ෂයක් සක්වළ වල පවතී.

බුදුරදුන්ගේ ආඥාචක්‍රයෙහි ඉමහත් බලයක් ඇත්තේ ය. අන් කිසිම බලයකින් උන්වහන්සේගේ ආඥාබලය මැඬලිය නො හැකිය, රාජාදීන්ගේ අණ බොහෝ ජනයා රහසින් කඩ කරති. අසු නුවුවහොත් ඔවුනට එයින් වන විපාකයක් නැත. තථාගතයන් වහන්සේගේ ආඥාචක්‍රය රහසින් වුව ද කඩ කළහොත් එහි විපාකය ලැබේ. සමහර විට උන්වහන්සේගේ ආඥාව කඩ කරන්නාහට එහි විපාකය එකෙණෙහිම ලැබේ. බුදුරදුන් හා වාදයට ගිය සච්චකගෙන් තථාගතයන් වහන්සේ ප්‍රශ්ණයක් ඇසූහ. එයට පිළිතුරු දුනහොත් තමාට අවාසි වනු පෙනුනෙන් සච්චක පිළිතුරු නොදී තුෂ්ණිම්භූත විය. තථාගයන් වහන්සේ අසන ප්‍රශ්ණයකට තුන්වනවර පිළිතුරු නොදී උන්වහන්සේගේ අණ කඩ කරන්නහුට වන විපාකය තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

“බ්‍යාකරොහි’දානි අග්ගිවෙස්සන න’දානි තෙ තුණ්හීභාවස්සකාලො, යො කොචි අග්ගිවෙස්සන තථාගතෙන යාච තතියං සහධම්මිකං පඤ්හං පුට්ඨො න බ්‍යාකරොති, තත්ථෙවස්ස සත්තධා මුද්ධා ඵලති.”

“කියනු අග්ගිවෙස්සන, මේ ඔබට තුෂ්ණිම්භූත වීමට කාලය නො වෙයි. අග්ගිවෙස්සන, යමෙක් තථාගතයන් වහන්සේ විසින් තුන්වරක් දක්වා ඇසූ කල්හි ද කථා නො කර සිටී නම් එතැනම ඔහුගේ හිස සත්කඩකට පුපුරන්නේය” යනු එහි තේරුමය.

සච්චක පිළිතුරු දී යම්තම් හිස බේරා ගත්තේ ය. තුන්වන වර විචාළ කල්හි ද තුෂ්ණිම්භූත වී නම් සච්චකට ඒ විපාකය වන්නේ ය. කිසිම කෙනෙකුට කිසිම බලයකින් එය වැළැක්විය නො හැකි ය.

තථාගතයන් වහන්සේ තමන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටින හේතුසම්පත් ඇති පුද්ගලයන් හට තමන් වහන්සේගේ ස්වර්ණවර්ණ දක්ෂිණ ශ්‍රී හස්තය සිවුරු ගැබින් පිටතට ගෙන මධුර මනෝහර බ්‍රහ්මස්වරයෙන් “ඒහි භික්ඛු චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය”යි වදාරන්නාහ. එසේ වදාරනු සමගම ඒ බුද්ධාඥාවේ ආනුභාවයෙන් පැවිද්ද ඉල්ලූ ගිහියාගේ ගිහිවෙස අතුරුදහන් වෙයි. ඔහුට පැවිදි වෙස පහළ වෙයි. පැවිද්ද හා උපසම්පදාව පිහිටයි. ඔහු එක චීවරයක් හැඳ එක් චීවරයක් ඒකාංස කොට පොරොවා උරහිස මත තවත් චීවරයක් ඇති ව කරෙහි එල්ලුණු පාත්‍රයක් ඇති ව සියවස් පිරුණු මහතෙර කෙනෙකුන් මෙන් බුදුරදුන් ඉදිරියේ සිටී. මෙය කොතරම් ආශ්චයර්‍ය්‍යක් ද? එබඳු ආඥා බලයක් බුදුරදුන්ටම මිස අන් කිසිවකුට නැත්තේ ය. එසේ තථාගතයන් වහන්සේගේ ආඥාවෙන් පැවිද්ද හා උපසම්පදාව ලැබූවන් ගේ සංඛ්‍යාව සත්විසි දහස් තුන් සියයකැ යි විනය අටුවාවෙහි කියා තිබේ.

සත්තවීසසහස්සානි - තීණි යෙව සතානි ච,
එතෙ හි සබ්බෙ සංඛාතා - සබ්බෙ තෙ එහිභික්ඛුකා.

(විනය අටුවා 171)

තථාගතයන් වහන්සේගේ ආඥාචක්‍රය වඩා පෙනෙන්නේ විනය පිටකයෙනි. විනය පිටකය බුදුරදුන්ගේ ආඥා දේශනාව ය. ඇතැමුන්ගේ ආඥාව අනුන්ට කරදර පිණිස පවතින්නකි. බුදුරදුන්ගේ ආඥාචක්‍රය ලෝකයට යහපත පිණිස සැපය පිණිස පවත්නකි. එය අනුත්තර ආඥාචක්‍රයක් වන්නේ ඒ නිසා ය. බුදුරදුන්ගේ ආඥාව නො ඉක්මවා විනය සිකපද අනුව පිළිපදින්නා වූ භික්ෂුවට එයින් වන්නේ ඉමහත් යහපතකි. සිකපද කඩ නො කරන ශීල සම්පදාව ඇති භික්ෂුවට “මාගෙන් මෙනම් වරද සිදුවී ය”යි පසුතැවීමක් ඇති නොවේ. “මෙතෙක් කල් මා විසින් ශීලය රක්ෂා කරන ලදැ”යි ඉමහත් ප්‍රීතියක් ශීලසම්පදාව නිසාම ඒ භික්ෂුවට ඇතිවේ. එයින් ඔහුගේ සිත කය පිණා යන්නේ ය. ඉමහත් මානසික සුඛයක් ඇති වන්නේය. එය හේතු කොට යම්කිසි කමටහණක් මෙනෙහි කරන්නට වන් කල්හි සමාධිය ඇති වේ. සමාධිය නිසා යථාභූත දර්ශනය ඇති වේ. එයින් ඒ භික්ෂුවට අර්හත්ඵලයට පැමිණ දුකින් මිදිය හැකි වේ. ධ්‍යානමාර්ගඵලයන් නො ලද හැකි වුවහොත් ඒ කුශලයෙන් මරණින් මතු ස්වර්ගලෝකයට පැමිණිය හැකි වේ. පිළිපදින්නාවූ තැනැත්තාට එය හේතු කොට මහත් සම්පතක් ලැබෙන බැවින් තථාගතයන් වහන්සේගේ විනය දේශනා නැමති ආඥාව අනුත්තර ආඥාචක්‍රයක් වේ. ශ්‍රාවකයනට සිකපද පැනවීම පසේබුදුවරුන්ට හෝ ශාරිපුත්‍රාදි මහරතුන්ට හෝ නො කළ හැකිය. එයට සුදුසු බවක් උන්වහන්සේලාට නැත. ශ්‍රාවකයනට සිකපද පැනවීම වශයෙන් අනුත්තර ආඥාචක්‍රය පැවැත්වීමට සුදුසු කම් ඇත්තේ තථාගතයන් වහන්සේට පමණෙකි.

“ආරකා හි සො සබ්බකිලෙසෙහි විදුර සුවිදුරෙ ඨිතො, මග්ගෙන සවාසනානං කිලෙසානං විද්ධංසිතත්තා ති ආරකත්තා අරහං”

(විසුද්ධිමග්ග 146)

“ඒ භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් වාසනාව සහිත ක්ලේශයන් විධ්වංශනය කළ බැවින් සකල ක්ලේශයන් කෙරෙන් ඉතා දුරුව සිටින සේක. එසේ කෙලෙසුන් කෙරෙන් ඉතා දුරුව සිටින සේක. එසේ කෙලෙසුන් කෙරෙන් ඉතා දුරුව සිටන බැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වන සේක.” යනු එහි තේරුම ය.

රහත්හු ද අර්හන්මාර්ගයෙන් ක්ලේශයන් නිරවශේෂයෙන් ප්‍රහාණය කෙරෙති, බුදුහු ද රහතුන් සේම අර්හන්මාර්ගයෙන් ක්ලේශයන් ඉතිරි නො කොට ප්‍රහාණය කෙරෙති. එහෙත් බුදුරදුන්ගේ හා රහතුන්ගේ ක්ලේශප්‍රහාණයෙහි වෙනසක් තිබේ. රහත්හු ක්ලේශ ප්‍රහාණයට මිස වාසනා ප්‍රහාණයට සමත් නොවෙති. ක්ලේශප්‍රහාණයෙන් පසු රහතුන්ට වාසනාව ඉතිරිව පවතී. සාමාන්‍ය ජනයා අතර ‘වාසනා’යන වචනය ව්‍යවහාර කරන්නේ පිනට හෝ භාග්‍යයටය. පින් ඇත්තහුට “වාසනාවන්තයාය”යි කියති. වාසනා යන වචනයෙන් මෙහි අදහස් කරන අර්ථය අනිකකි. රා තුබූ කළයකින් එවා ඉවත් කොට සෝදා ගන්නා ලද කල්හි එහි රා මඳකුදු නැත ද රා ගඳ එහි ඉතිරිව පවතී. එමෙන්ම අර්හන්මාර්ගයෙන් සකල ක්ලේශයන් දුරු කළ රහතුන්ගේ සන්තානවල නො රහත් කාලයේ ඉරියව් පැවැත්වූ ආකාරයෙන් - ක්‍රියා කළ ආකාරයෙන් - කථා කළ ආකාරයෙන්, ඉරියව් පැවැත්වීමට - ක්‍රියා කිරීමට - කථා කිරීමට හේතුවන ක්ලේශයන්ටම අයත් එක්තරා ශක්තියක් ඉතිරි වේ. මෙහි “වාසනාවය” කියනුයේ ඒ ශක්ති විශේෂයට ය. ඒ ශක්තිය ඉතිරි වී ඇති බැවින් සමහර විට රහතන් වහන්සේ මඳවූ ද රාගයක් නැතිව සරාගීන් රාගයෙන් බලන්නාක් මෙන් බලති, කථා කරන්නාක් මෙන් කථා කරති, මඳවූ ද ද්වේශයක් නැතිව කෝපවූවන් සේ ක්‍රියා කරති, කථා කරති, මඳවූ ද මානයක් නැතිව මානීන් සේ ඉරියව් පවත්වති, කථා කරති. ඒ නිසා සමහර විට සෙස්සෝ රහතුන්ටද කලකිරෙති. පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ රහතුන්ගෙන් කෙනෙකි. උන්වහන්සේ මානයක් නැතිවම කෝපයක් නැතිවම “මෙහෙ වර වසලී, පල වසලී” යනාදීන් නො සරුප් ලෙස ගිහියන්ටත් පැවිද්දන්ටත් කථා කරති. එක් දවසක් භික්ෂූහු පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේගේ මේ නො සුරුප් කථාව ගැන ශාස්තෲන් වහන්සේට සැල කළහ. තථාගතයන් වහන්සේ “එසේ කථා කරන බව සැබෑවදැ”යි පිළින්දිවච්ඡ තෙරණුවන්ගෙන් අසා “සැබෑව”යි සැල කළ කල්හි, අතීතය බලා වදාරන සේක්:- අතීතයෙහි පිළිවෙළින් ජාති පන්සීයක් බ්‍රාහ්මණ කුලයෙහි ඉපද එසේ කථා කරන්නට පුරුදු වී ඇති බව දැක, භික්ෂූන් අමතා “මහණෙනි, ක්ෂීණාශ්‍රවයන්ගේ අනුන්ට රිදවන පරුෂ වචන කියන ස්වභාවයක් නැත, මගේ පුත්‍ර වූ වච්ඡ නපුරු සිතක් නැතිවම පෙර පුරුද්ද නිසා එසේ කථා කරන්නේය”යි වදාළ සේක. තථාගතයන් වහන්සේ වාසනාවත් සමඟම ක්ලේශයන් දුරු කොට ඇති බැවින් උන්වහන්සේ කෙලෙසුන් කෙරෙන් ඉතා දුරව සිටන සේක. එය තථාගතයන් වහන්සේටම ඇති ගුණ විශේෂයෙකි.

“තෙ චා’නෙන කිලෙසාරයො මග්ගේන හතාති අරීනං හතත්තා’පි අරහං”

(විසුද්ධිමග්ග 146)

“ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකෝත්තර මාර්ගයෙන් කෙලෙස් නැමති සතුරන් නසන ලද්දාහු ය. සතුරන් නසන ලද හෙයින් උන්වහන්සේ අරහං නම් වෙති”ය යනු එහි තේරුම ය. කෙළෙස්හු සත්ත්වයන් නැවත නැවත සංසාරචක්‍රයෙහි යොදවමින් නැවත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාස සංඛ්‍යාත දුඃඛයන් ඔවුනට ගෙන දෙන්නෝ ය. එබැවින් නපුරුම සතුරෝ ක්ලේශයෝ ය. තථාගතයන් වහන්සේ ලෝකෝත්තරමාර්ගඥාන නමැති කඩුවෙන් එක්දහස් පන්සියයක් වන සියලු කෙලෙසුන් නසා ලූ සේක. එබැවින් අරහං නම් වන සේක.

කෙලෙසුන් කෙරෙන් දුරුවීමය, කෙලෙසුන් නැසීමය යන මේ දෙක්හි වචනවලින් වෙනසක් ඇතත් අර්ථ වශයෙන් වෙනසක් නො පෙනේ. වචනවල සැටියෙන් දෙකරුණක් සේ කිය හැකි බැවින් අර්ථකථාචාර්‍ය්‍යන් විසින් කෙලෙසුන් කෙරෙන් ඉතා දුරුව සිටින බැවින් අරහං නම් වෙතිය යි ද, කෙලෙසුන් නැසූ හෙයින් අරහං නම් වෙතිය යි ද වර්ණනා කර තිබේ.

“යඤ්චෙතං අවිජ්ජා භවතණ්හාමය නාභි පුඤ්ඤාදි අභිසංකාරාරං ජරාමරණ නෙමි ආසව සමුදයෙන අක්ඛෙන විජ්ඣිත්වා තිභවරථෙ සමායෝජිතං අනාදිකාලප්පවත්තං සංසාරචක්කං තස්සානෙන බෝධිමණ්ඩෙ විරියපාදෙහි සීලපඨවියං පතිට්ඨාය සද්ධාහත්‍ථෙන කම්මක්ඛයඤාණ ථරසුං ගහෙත්වා සබ්බෙ අරා හතාති අරානං හතත්තාති’පි අරහං.”

(විසුද්ධිමාර්ග)

අවිද්‍යා භවතෘෂ්ණා සංඛ්‍යාත නාභිය ඇති පුණ්‍යාදි අභිසංස්කාර සංඛ්‍යාත දැවි ඇති ආශ්‍රව සමුදය සංඛ්‍යාත අකුරෙන් අමුණා ත්‍රිභව සංඛ්‍යාත රථයෙහි යොදන ලද අනාදිකාලයක පටන් පවත්නාවූ යම් සංසාර චක්‍රයක් වේද, මේ සර්වඥයන් වහන්සේ විසින් බෝධි මණ්ඩලයෙහි වීර්‍ය්‍ය නමැති පාදයන්ගෙන් ශීල නැමති පෘථිවියෙහි සිට ශ්‍රද්ධා නමැති අතින් කර්මක්ෂයකරඥාන නැමැති පොරොව ගෙන ඒ සංසාරචක්‍රයාගේ සියලු දැවි සිඳින ලදහ. එසේ සංසාරචක්‍රයාගේ සියලු දැවි සිඳින ලද බැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වන්නාහ” යනු එහි තේරුම ය.

අනාදිමත් කාලයක පටන් නො නැවතී පෙරළෙමින් එන සංසාරය නැමති රෝදයේ ගරාදි සියල්ල සිඳ දමා ඉදිරියට සංසාරප්‍රවෘත්තිය නැති කළ බැවින් සසර ගමන අවසන් කළ බැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වෙති’ය යනු ඉහත දැක්වූ පාඨයේ කෙටි අදහස ය.

සත්ත්වයා උපදී, ඉපිද දිරයි, දිරා මැරෙයි, මැරී නැවතත් උපදී, නැවතත් දිරයි, නැවතත් මැරෙයි, නිවනට පැමිණෙන තෙක් එහි අවසානයක් නැත. එසේ ඉපදෙමින් දිරමින් මැරෙමින් ස්කන්ධයන්ගෙන් නො සිඳී පැවැත්ම සංසාර නම් වේ. සත්ත්වනාමය ව්‍යවහාර කරන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර විඤ්ඤාණ යන මේවාට ය. සත්ත්වයාගේ නො සිඳී පැවැත්ම යි කියනුයේ ඒ රූපාදීන්ගේ නොසිඳී පැවැත්මය. ස්කන්ධ යනු රූපාදියට කියන නමෙකි. ඒ ස්කන්ධයන්ගේ නො සිඳී පැවැත්ම සංසාරය යි ද කියනු ලැබේ. ධර්මානුකූලව කියතහොත් ස්කන්ධයන්ගේ නො සිඳී පැවැත්ම සංසාරය යි ද කිය යුතු ය. නො සිඳී පවත්නා ස්කන්ධපරම්පරාව සංසාරය යි ද කිය යුතු ය. පසු කළ ජාතිය පසු කළ ජරාව පසු කළ මරණය නැවත නැවත පැමිණීම් වශයෙන් සංසාරය පවත්නා බැවින් එය කැරකෙන රෝදයක් වැනි ය. එබැවින් සංසාරයට සංසාරචක්‍රය යි ද කියනු ලැබේ.

මේ සංසාරචක්‍රය පැහැදිලි කළ හැක්කේ ප්‍රතීත්‍ය සමුත්පාද දේශනය අනුව ය. පටිච්චසමුප්පාද යන නාමය ව්‍යවහාර කරන්නේ ද මේ සංසාරචක්‍රයටම ය. අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියා එහි අංග දොළහක් ඇත්තේ ය. කරත්ත රෝදයක බොස්ගෙඩිය, ගරාදි, පට්ටම් කියා කොටස් තුනක් ඇත්තේ ය. අවිජ්ජා තණ්හා නැමති අංග දෙක සංසාරචක්‍රයේ මූල ධර්ම දෙක බැවින් ඒ දෙක සංසාරචක්‍රයේ බොස්ගෙඩිය ලෙස සලකණු ලැබේ. අවසානාංගය වන ජරාමරණය සංසාරචක්‍රයේ පට්ටම් ලෙස සලකනු ලැබේ. සංඛාරාදි අංග නවය ගරාදි ලෙස සලකනු ලැබේ. මහාබෝධිසත්ත්වයන් වහන්සේ සුපරිශුද්ධ ශීලයෙන් යුක්තව චතුරංගසමන්වාගත වීර්‍ය්‍ය අධිෂ්ඨාන කර ගෙන තමන්වහන්සේගේ ප්‍රතිපත්තිමාර්ගය ගැනත් ඉන් ලැබෙන ඵලයවූ ලොවුතුරා බුදුබව ගැනත් ස්ථීර විශ්වාසයක් ඇතිව භාවනාවෙහි යෙදී ‘කර්මක්ෂයකරඥානය’යි කියනු ලබන අර්හන්මාර්ග ඥානය උපදවා සව්කෙලෙසුන් නසා ලොවුතුරා බුදු බවට පැමිණ වදාළ සේක. අර්හන්මාර්ගඥානය ඇති වන කල්හි එහි බලයෙන් සියලු කෙලෙස් සිඳෙයි. එයින් සංසාරචක්‍රය ද සිඳෙයි. අර්හන්මාර්ගඥානයෙන් සංසාර චක්‍රය සම්පූර්ණයෙන් සිඳෙන නුමුත් අරහං යන වචනයට ගැළපෙන පරිදි සංසාරචක්‍රයාගේ අරයන් (ගරාදි) සිඳින ලද බැවින් අරහං නම් වෙතැ යි කියන ලදී. අර්හන්මාර්ගඥාණයෙන් සංසාරචක්‍රය සිඳීම රහතුන්ට ද සාධාරණ ගුණයෙකි.

“අග්ගදක්ඛිණෙය්‍යත්තා ච චීවරාදිපච්චයෙ අරහති පූජාවිසෙසඤ්ච, තෙනෙව ච උප්පන්නෙ තථාගතෙ යෙකෙචි මහෙසක්ඛා දේවමනුස්සා න තෙ අඤ්ඤත්ථ පූජං කරොන්ති, තථා හි බ්‍රහ්මා සහම්පතී සිනෙරුමත්තෙන රතනදාමෙන තථාගතං පූජෙසි, යථාබලඤ්ච අඤ්ඤෙ දෙවා මනුස්සා ච බිම්බිසාර කොසලරාජාදයො, පරිනිබ්බුතම්පි ච භගවන්තං උද්දිස්ස ඡන්නවුතිකොටිධනං විස්සජ්ජෙත්වා අසොකමහාරාජා සකලජම්බුදීපෙ චතුරාසීති විහාරසහස්සානි පතිට්ඨාපෙසි, කො පන වාදො අඤ්ඤෙසං, පූජාවිසෙසානන්ති පච්චයාදිනං අරහත්තාපි අරහං.”

(විසුද්ධිමග්ග 148)

එහි තේරුම මෙසේ ය.

අග්‍රදක්ෂිණාර්හ වන බැවින් තථාගතයන් වහන්සේ චීවරාදි ප්‍රත්‍යයන් හා විශේෂ පූජාවන් ද පිළිගැනීමට සුදුසු වන්නාහ. එබැවින් තථාගතයන් වහන්සේ උපන් කල්හි මහේශාඛ්‍ය දේව මනුෂ්‍යයෝ අන් තැනකට පූජා නො කෙරෙති. ඒ එසේමය, සහම්පතී බ්‍රහ්ම තෙමේ මහමෙර පමණ ඇති රුවන් දමකින් තථාගතයන් වහන්සේ පිදී. ශක්ති පමණින් සෙසු දෙවියෝ ද මිනිස්සුද බිම්බිසාර කෝශලාදි රජහු ද තථාගතයන් වහන්සේ පිදූහ. අශෝක මහරජ තෙමේ පිරිනිවියාවූ බුදුරදුන් උදෙසා ද සයානුකෙළක් ධනය වියදම් කොට දඹදිව සැමතැන සුවාසූ දහසක් විහාර පිහිටවී ය. අන්‍ය පූජා විශේෂයන් ගැන කියනු කිම? මෙසේ චීවරාදි ප්‍රත්‍යයන් පිළිගැනීමට - ලැබීමට සුදුසු බැවින් ද තථාගතයන් වහන්සේ අරහං නම් වෙති. මේ අර්ථය මෙහි මුලම විස්තර කර ඇත.

“යථා ච ලොකෙ කෙචි පණ්ඩිතමානිනො බාලා අසිලොකභයෙන රහො පාපං කරොන්ති, එවමෙස න කදාචි කරොතී ති පාපකරණෙ රහාභාවතො’පි අරහං”

(විසුද්ධිමග්ග 148)

“ලෝකයෙහි පණ්ඩිතමානී බාලයෝ අපකීර්තියට බියෙන් ප්‍රසිද්ධියේ පවු නොකොට රහසින් පව් කෙරෙති, තථාගතයන් වහන්සේ එසේ රහසින් ද පවු නො කරන සේක. ‘රහසිනුදු පවු නො කෙරෙති’ය යන අර්ථයෙන් තථාගතයන් වහන්සේ අරහං නම් වෙතිය” යනු එහි අදහසයි. රහසින් වුව ද පවු නො කිරීම වූ මේ ගුණය ද රහතුන්ට ද සාධාරණ ගුණයෙකි. රහත්හු ද රහසින් වුව ද පවු නො කරති. විශුද්ධිමග්ගයෙහි අරහං යන පදයේ අර්ථ පස මතක තබා ගැනීම පහසු වනු සඳහා මේ ගාථාව දක්වා ඇත්තේ ය.

ආරකත්තා හතත්තා ච - කිලෙසාරීන සො මුනි, හතසංසාරචක්කාරො - පච්චයාදීන චා රහො, න රහො කරොති පාපානි - අරහං තෙන වුච්චති.

තේරුම-:

ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් ද, කෙලෙස් සතුරන් නැසූ සෙයින් ද, සංසාරචක්‍රයාගේ ගරාදි සිඳ දැමූ හෙයින් ද, චීවරාදි ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු හෙයින් ද, රහසින් වුව පව් නො කරන හෙයින් ද “අරහං” යි කියනු ලැබෙත්.

විශුද්ධිමාර්ගටීකාවෙහි තවත් ආකාර සයකින් අරහං යන වචනයේ අර්ථ දක්වා තිබේ.

2. සම්මා සම්බුද්ධ ගුණය

කිසිතැනක වැරදීමක් නැති පරිදි නො පැහැදිලි බවක් නැතිව අත්ලෙහි ඇති දෙයක් සේ ඉතා පැහැදිලි ලෙස අනිකකුගෙන් උගෙනීමක් හෝ උපදෙස් ගැනීමක් නො කොට තමන් විසින්ම අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත්වූ ද කාලත්‍රයට අයත් නොවූ ද සියල්ල දැන වදාළ බැවින් තථාගතයන් වහන්සේ සම්මාසම්බුද්ධ නම් වෙති.

බුද්ධ යන වචනයෙන් දත් කෙනෙකු කියැවේ. දතුවන් අතර අනුන්ගෙන් උගෙන අනුන්ගෙන් උපදෙස් ගෙන යම් යම් දේ දැනගත්තෝ ද වෙති, ස්වශක්තියෙන්ම දැන ගත්තෝ ද වෙති. අනුන්ගෙන් අසා දත් තැනැත්තේ බුද්ධ නම් වෙයි. එහෙත් සම්බුද්ධ නො වෙයි. අනුන්ගේ උපකාරයක් නැතිව ස්වශක්තියෙන් දතුවෝ සම්බුද්ධ නම් වෙති. සම්බුද්ධ යන නාමය ලැබෙන්නේ පසේබුදුවරුන්ට හා ලොවුතුරා බුදුවරුන්ට පමණකි. සම්බුද්ධ වුව ද පසේබුදුහු සියල්ල නො දනිති, ලොවුතුරා බුදුහු සියල්ලම දනිති. වැරදීමක් නැතිවම දනිති, අපැහැදිලිකමක් නැතිව පැහැදිලි ලෙස ම දනිති. එබැවින් ලොවුතුරා බුදුහු සම්මාසම්බුද්ධ නම් වෙති. සම්මාසම්බුද්ධ යන වචනය අභිධර්ම පිටකයේ පුග්ගලපඤ්ඤත්ති පකරණයෙහි මෙසේ විස්තර වේ.

“කතමො ච පුග්ගලෝ සම්මාසම්බුද්ධො? ඉධෙකච්චො පුග්ගලො පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු සාමං සච්චානි අභිසම්බුජ්ඣති, තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණාති, බලෙසු ච වසීභාවං, අයං වුච්චති පුග්ගලො සම්මාසම්බුද්ධො”

(සම්මාසම්බුද්ධ නම් කවරේදැයි විවරණය කරන මේ පාඨය එහි ඇති වචන පටිපාටිය අනුව තේරුම් කිරීමට දුෂ්කර පාඨයෙකි.) “යම් පුද්ගලයෙක් අනිකකු ගෙන් නො අසා ස්වශක්තියෙන්ම ස්කන්ධාදි ධර්ම විෂයෙහි චතුස්සත්‍යය දැන ගනී ද, කිසිවක් ඉතිරි නො වන පරිදි සියල්ල පිළිබඳව ම සත්‍යය දැන ගැනීම් වශයෙන් සර්වඥත්වය ට පැමිණේ ද, බලයන්හි වශීභාවය ලබා ද ඒ පුද්ගල තෙමේ සම්‍යක් සම්බුද්ධ නම් වේය.” යනු එහි අදහසය.

අප බෝධිසත්ත්වයන් වහන්සේ අතීත බුදුසසුන්වල පැවිදිව ත්‍රිපිටක ධර්මය උගෙන ශමථවිදර්ශනා භාවනාවන්හි යෙදී ඇති බැවින් පෙර ජාතිවල ඒ ධර්ම අසා ඇත. එහෙත් බුදු වන ජාතියේදී උන්වහන්සේ විසින් චතුස්සත්‍ය යන වචන මාත්‍රය පවා අනිකකුගෙන් අසා නැත. අතිදීර්ඝකාලයක් පිරූ පාරමිතා කුශලබලයෙන් කිසිවෙකුගෙන් නො අසා ඒ ධර්ම උන්වහන්සේට අවබෝධ කළ හැකි විය. කිසිදු අඩුවක් නැතිව සියල්ල පිළිබඳවම සත්‍යයන් අවබෝධ කර ගැනීමෙන් තථාගතයන් වහන්සේ සර්වඥ වූ සේක. සර්වඥතාඥානය ලැබෙනු සමගම දශබල ඥානයෝද උන්වහන්සේට ඇති වූහ. සර්වඥතාඥාන දශබලඥානයන් ලැබීමෙන් ලොවුතුරා බුදුබව සම්පූර්ණ වේ. ඉන්පසු බුද්ධත්වය සඳහා කළ යුත්තක් නැත. ලොවුතුරාබුදුවරුන් පසේබුදුවරුන් හැර සෙස්සන්ට අනුන්ගෙන් නො අසා චතුස්සත්‍යන් දත හැකි නො වන්නේ ඒවා ඉතා ගැඹුරු නිසා ය. සම්මා සම්බුද්ධගුණය විස්තර කරන මෙතන්හි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ ඒ චතුස්සත්‍යය සැකෙවින් වුව ද දැක්විය යුතු බැවින් තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්මදේශනය වන ධර්මචක්‍රප්‍රවර්තන සූත්‍රය ඇසුරු කොට චතුස්සත්‍යය සැකෙවින් දක්වනු ලැබේ.

දුක්ඛ සත්‍යය

“ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං, ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා ව්‍යාධි පි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”

(ධම්මචක්කප්පවත්තන සුත්ත)

“මහණෙනි, මේ දුඃඛාර්‍ය්‍ය සත්‍යය ය. භවයෙහි ඉපදීම ද දුකෙක, උපන්නහුගේ ශරීරය දිරීම ද දුකෙක, නානා ව්‍යාධීන් හට ගැනීම ද දුකෙක, මරණය ද දුකෙක, අප්‍රිය වස්තු අප්‍රිය පුද්ගලයන් හා එක්වීම ද දුකෙක, ප්‍රියවස්තු ප්‍රියපුද්ගලයන්ගෙන් වෙන්වීම ද දුකෙක, වුවමනා දෙය නො ලැබීම ද දුකෙක, කොටින්ම උපාදානස්කන්ධ පඤ්චකය දුකෙක” යනු එහි තේරුම ය.

මව පියා දුව අයියා මල්ලී අක්කා නංගී ගැහැණිය පිරිමියා මිනිහා ළමයා තරුණයා සීයා මහත්මයා නෝනා දෙවියා මිනිසා බල්ලා බළලා යනාදි නොයෙක් නම් වලින් කියැවෙන්නේ, රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන නාමරූප සමූහයන් ය. මා පිය දූපුත් ආදි සත්ත්වයන් වශයෙන් සලකන දෙය, විභාග කර බැලුවහොත් එහි රූප වේදනාදි නාමරූප ධර්ම හැර අන් කිසිවක් නො ලැබෙන්නේ ය. එක් එක් භවයක පළමුවෙන් රූප වේදනාදීන් පහළවීම භවයෙහි ඉපදීම ය. උපන්නහුට බොහෝ දුක් ඇති වන්නේය. නූපදිතහොත් කිසි දුකක් නැත. “සියලු දුකට මුල් වන බැවින් ඉපදීම දුකය”යි තථාගතයන් වහන්සේ වදාළහ. මේ ඉපදීමේ දුක මවුකුස පිළිසිඳගන්නා සත්ත්වයන් සම්බන්ධයෙන් විශේෂයෙන් කිය යුතුය. මවුකුස පිළිසිඳගන්නා සත්ත්වයාහට අත්පා නැතිව ඇස් කන් නාසා නැතිව දිවක් කටක් නැතිව මස්කැබෙල්ලක් ලෙස කලක් මවු කුස හිරවී වාසය කරන්නට සිදුවේ. අත්පා ආදිය ඇතිවූ පසුත් ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් ගත නො හැකිව කලක් ඉතා දුකසේ මවු කුස හිර වී සිටින්නට සිදු වේ. කලක් එසේ සිට ඔහු ඉතා දුකසේ දැඩි වේදනා විඳිමින් මවු කුසින් හඬමින්ම බිහි වෙයි. ප්‍රීතියෙන් මවු කුසෙන් බිහිවීමක් නැත.

උපන්නහුගේ ශරීරය දිරා යාම ජරාදුඃඛය ය. උප්පත්තියේ පටන්ම මේ දිරීම සිදුවෙතත් එය ප්‍රකට වන්නේ කලක් ගතවීමෙනි. පෙනීම හීනවීම, ඇසීම හීනවීම, දුබල වී තමාගේ ශරීරය පාලනය කර ගත නොහෙන තත්වයට පත්වීම, හිසකේ රැවුල පැසී දත් ගැලවී ඇඟරැළි වැටී නහර මතු වී විරූප වී සෙස්සන්ගේ පිළිකුලට භාජනය වීම යනාදිය ජරා දුක්ඛය ය.

උපන්නහුගේ ශරීරයේ හටගන්නා රෝගයෝ ඉතා බොහෝ ය. ශරීරය රෝගයන්ගේ උප්පත්ති ස්ථානයය. රෝග නො වැළඳෙන තැනක් සිරුරෙහි නැත. හිසරදය, කන්කැක්කුම, දත්කැක්කුම, ඇස්වල කාච පටල, ඇස්රුදාව, කනෙහි පිළිකා, හකුයෙහි උගුරෙහි පපුවෙහි බඩෙහි පිළිකා, නොයෙක් තැන හට ගන්නා තද වේදනා දෙන ගෙඩි, වණ, සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස, උණ, වමනය, අතීසාරය, හතිය, මලමුත්‍ර හිරවීම, මුත්‍ර බොක්කේ ගල්, ගුදමාර්ගයේ ගෙඩි, ක්‍ෂයරෝගය, පක්ෂාඝාතය, සිහිවිකලවීම යනාදිය පඤ්චස්කන්ධය පිළිබඳ ව්‍යාධි දුඃඛය ය.

උපදනා කිසිම සත්ත්වයකුට සැමදා ජීවත් විය හැක්කේ නො වේ. දිවි කෙළවර වන දිනයක් සැමටම එන්නේ ය. මරණයෙන් සෑම පුද්ගලයෙකුටම තමන් ඇලුම් කර ගෙන සිටින ධනයෙන් දූදරුවන්ගෙන් නෑ මිතුරන්ගෙන් වෙන් වන්නට සිදු වේ. ජීවත් වීමට ආශාව තිබියදීම දිවි කෙළවර වේ. එයද සත්ත්වයා හට ඉවසිය නො හෙන මහත් දුකෙකි. සත්ත්වයා අන්සියල්ලටම වඩා නො කැමති වන බිය වන ඒ මරණය ලෙහෙසියෙන් සිදු වන්නේ ද නො වේ. එය සිදු වන්නේ සෙම නැඟී අවුත් අශ්වාස ප්‍රාශ්වාස මාර්ගයන් අවුරා මලමුත්‍ර දොට්ට විසි වන තරමේ බලවත් වේදනා ඇති කරවීමෙනි. එබැවින් එය ඉතාම භායානක දුක ය.

ලෝකයෙහි ජීවත්වන තැනැත්තාට අහිත වූ දිය ගිනි සුළංවලින් ද ගල් මුල් කටු ආදියෙන් ද නොයෙක් විට පීඩා ඇති වන්නේ ය. උකුණු මකුණු මැසි මදුරු පත්තෑ ගෝණුසු ආදි කුඩා සතුන්ගෙන් ද අව්වෙන් වැස්සෙන් පින්නෙන් ශීතලෙන් ද කරදර පැමිණෙන්නේ ය. නයි පොළොං කොටි වලස් ආදි නපුරු සතුන් ගෙන් ද නොයෙක් පීඩා වන්නේ ය. කාටවත් කිසිවරදක් නො කරන අනුන්ට යහපතම කරන සත්පුරුෂයෙකුටද වුවද රිදවීමට ඔහුගේ තත්ත්වය පහළ දැමීමට නොයෙක් ආකාරයෙන් බණිති, නොයෙක් චෝදනා කරති. කිසි වරදක් නැති තැනැත්තා වරදට හසු කොට දඬුවම් ලබා දෙති. රැකියාවෙන් තනතුරෙන් පහ කරවති. සමහර විට අත් පා වලින් ආයුධවලින් පහර දෙති. දුකසේ සපයා ගෙන ඇති වස්තුව සොරකම් කර ගනිති. දේපල විනාශ කරති. දූදරුවන්ට කරදර කරති. මේවා ජීවත් වන්නහුට ලැබෙන අප්‍රියසම්ප්‍රයෝග දුක් ය.

ලෝකයෙහි ස්ථිර කිසිවක් නැත. අමාරුවෙන් සපයා ගෙන ඇති, නැතිවම බැරි ඉතා ප්‍රයොජනවත් වස්තු වන ඇඳුම් පැළඳුම් හා නොයෙක් පරිභෝග භාණ්ඩ ද යාන වාහන හා ගෙවල් ද තවත් නොයෙක් ප්‍රිය වස්තූහු ද දිරීමෙන් හෝ සොර සතුරන්ට හසු වීමෙන් හෝ නැති වී යති. එද මිනිසාට වන මහත් දුකකි. මාපියන්ට ප්‍රාණය මෙන් ප්‍රිය දු දරුවෝ ඔවුන් බලා සිටියදී නැසෙන්නාහ. හිමියන්ට ප්‍රාණය සේ ප්‍රිය බිරියෝද බිරියන්ට ප්‍රිය සැමියෝ ද නැසෙන්නාහ. සහෝදර සහෝදරියෝ නැසෙන්නාහ. නෑමිතුරෝ නැසෙන්නාහ. සමහර විට බිරියන් හැර දූ දරුවන් හැර සැමියෝ පළා යන්නාහ. සමහර විට අන් පුරුෂයන් හා එකතුව බිරියෝ පළා යන්නාහ. දූ දරුවන් පළා යන්නාහ. මේ සසර සැරිසරන සත්ත්වයනට ඇති වන ප්‍රිය විප්‍රයෝග දුඃඛය ය.

සත්ත්වයනට ඇති වන ආශා ඉතා බොහෝ ය. හොඳ ආහාරයක් දුටු කල්හි එයට ආශාව ඇති වේ. හොඳ ඇඳුමක් දුටු කල්හි එයට ආශාව ඇති වේ. හොඳ වාහනයක් දුටු කල්හි එයට ඒවාට ආශාව ඇති වේ. හොඳ ගෙයක් වත්තක් කුඹුරක් දුටු කල්හි ඒවාට ආශාව ඇති වේ. අඹුවන් ගැන සැමියන් ගැන දූ දරුවන් ගැන ගරු බුහුමන් ගැන තනතුරු ගැන නොයෙක් දෑ දැකීම ඇසීම ගැන උත්සව පැවැත්වීම ගැන බොහෝ ආශාවල් ඇති වේ. ඒ ඇති වන ආශා සියල්ල මුදුන් පත් කර ගැනීමට, ආශා කරන සියල්ල ලබා ගැනීමට ලෝකයෙහි කිසිම කෙනෙකුට නුපුළුවන් වේ. එක් එක් අයෙකුට ඇති වන ආශාවලින් මුදුන්පත් කරගත හැකි වන්නේ ඉතා ස්වල්පයෙකි. කැමති වන දෙයින් ලබා ගත හැකි වන්නේ ඉතා ස්වල්පයෙකි. සාමාන්‍යයෙන් ඇති වන ආශාවන් මුදුන්පත් නො වීම එතරම් මහත් දුකක් නො වේ. එහෙත් ඇතැම් ආශාවන් මුදුන්පත් නො වීම ඉවසිය නො හෙන තරමේ මහ දුකකි. ඒ දුක ඉවසා සිටිය නො හැකි බැවින් ඇතැම්හු දිවි නසා ගනිති. ඇතැම්හු ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට ගොස් බැණුම් අසති. ගුටිබැට කති. සිරගෙවලට වැටෙති. ඇතැම්හු මැරුම් කති.

මව පියා පුතා දූ සැමියා බිරිය යනාදි පුද්ගලයන් වශයෙන් සලකන රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පඤ්චකය ඇති කල්හි ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රියසම්ප්‍රයෝග ප්‍රියවිප්‍රයෝග ඉච්ඡාවිඝාත යන දුක් ඇත්තේ ය. ඒවා ඇති කල්හි ශෝක පරිදේව දුඃඛ දෝමනස්ස උපායාසයෝ ද වන්නාහ. එහි ශෝක නම් ප්‍රිය විප්‍රයෝගාදිය නිසා සිතෙහි හටගන්නා ගින්න ය. එයින් සිත කය දෙකම දැවේ. පරිදේව යනු හැඬීමය. දුඃඛ යනු ශරීරයේ ඒ ඒ තැන්වල ඇතිවන රිදුම් ආදි නො ඉවසිය හැකි ස්වභාවයෝ ය. දෝමනස්ස යනු සිත් රිදුම ය. උපායාශ යනු පපුව වියළවන සමහර විට ජීවිතය ද නසන බලවත් සිත් වෙහෙස ය. එය බලවත් ශෝකයේ කෙළවර ඇති වන්නකි. ජාති ජරා ව්‍යාධි මරණාදිය පඤ්චස්කන්ධයෙහි මිස අන් තැනක නැත. ඒ දුක් උපදනා තැන - ඇති තැන පඤ්චස්කන්ධ ය. නුවණ මඳ ජනයා විසින් සැපයක් ලෙස හොඳක් ලෙස ආත්මයක් ලෙස සලකන, කියන ලද දුක්වලින් වැළඳ ගෙන සිටින පෙළන තවන දවන උපාදානස්කන්ධ පඤ්චකය නො හොඳක් බව ඒකාන්තයෙන්ම දුකක් බව කිසිවකුගෙන් උපදෙස් නො ලබා තමන් වහන්සේගේ නුවණින් තථාගතයන් වහන්සේ අවබෝධ කළ සේක.

සමුදය සත්‍යය

“ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛසමුදයං අරියසච්චං, යායං තණ්හා පොනොභවිකා නන්‍දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථිදං? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.”

මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි සමුදය සත්‍යය දැක්වෙන අකාර ය. “මහණෙනි, පවත්නා භවය සිඳෙනු සමගම අලුත් භවයක් ඇති කරන්නාවූ පඤ්චස්කන්ධය ගැන සතුටු වන එහි ඇලෙන, ලැබෙන ලැබෙන භවය කෙරෙහි සතුට ඇති කරන කාම තෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා වශයෙන් තුන් ආකාර වන තණ්හාව දුඃක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය” යනු එහි තේරුම ය.

තාත්තා පුතා යනාදීන් පුද්ගලයන් වශයෙන් ගෙන ඇලුම් කරන උපාදානස්කන්ධ පඤ්චකය සැබෑවටම දුක් කඳක් බව අවබෝධ කරගත් තථාගතයන් වහන්සේ ‘ඒ දුඃඛස්කන්ධය ඉබේම ඇති වන්නක් ද දේවාදි යම්කිසි බලවතෙකු විසින් ඇති කරන්නක් ද, කෙසේ ඇති වන්නක් දැ’යි විමසන සේක් කිසිවකුගේ උපදේශයක් නොමැතිව තමන් වහන්සේගේ ශක්තියෙන්ම ඒ උපාදානස්කන්ධ පඤ්චකය නැවත නැවත ඇතිවීමේ සැබෑ හේතුව තෘෂ්ණාව බව දැක වදාළ සේක. දුක ඇති කරන සැබෑ හේතුව වන බැවින් තණ්හාව සමුදයසච්ච නම් වේ.

අබ තල වී මුං කජු කොස් ආදි ඇට වර්ගවල තෙත් ගතියක් ඇත්තේය. එහි ආධාරයෙන් සුදුසු අවස්ථාවෙහි ඒ ඇටවලින් පැළ ඇති කරනු ලැබේ. යම් ඇටයක තෙත් ගතිය නැති වුවහොත් වියළී ගියහොත් ඒ ඇටය නිකම්ම දිරා යනවා මිස එයින් පැළයක් ඇති නො වේ. තෘෂ්ණා නමැති තෙත් ගතිය කුශලාකුශල කර්ම සියල්ලෙහිම පැතිර පවතී. ඒ නිසා ඒ කර්ම සුදුසු අවස්ථාවෙහි ප්‍රතිසන්ධි විපාක ඇති කිරීමට සමත් වෙයි. තණ්හාව කර්මයන්ගේ ප්‍රාණය ය. අර්හන්මාර්ගඥාන නමැති ගින්නෙන් කර්ම විෂයෙහි පවත්නා තණ්හානුසය වියළවා හැරියහොත් ඒ කර්මයෝ ප්‍රතිසන්ධි දානයට සමත් නො වන්නාහ. කර්මයට භවයෙහි ප්‍රතිසන්ධිදානශක්තිය ලබා දෙන තෘෂ්ණාව ප්‍රතිසන්ධි ගෙන දීමෙහි හෙවත් පුනර්භවය ඇති කිරීමෙහි කර්මයට වඩා ප්‍රධාන තැනක් ගනී. එබැවින් කර්මය සමුදය සත්‍ය යි නො වදාරා තෘෂ්ණාවම සමුදය සත්‍යය යි වදාළහ.

නිරෝධ සත්‍යය

“ඉදං ඛො පන භික්ඛවේ, දුක්ඛනිරොධං අරියසච්චං, යො තස්සායෙව තණ්හාය අසෙස විරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො.”

(ධම්මචක්කප්පවත්තන සු.)

මේ නිරෝධසත්‍ය දේශනාව ය. “මහණෙනි, උපදානස්කන්ධ සංඛ්‍යාත භවය නැවත නැවත ඇති කරන ඒ තෘෂ්ණාවෙහි නිරවශේෂ නිරෝධයවූ යම් නිවනක් වේ ද යම් නිවනක් නිසා ඒ තෘෂ්ණාව අත් හැරීමක් විසි කර දැමීමක් දුකින් මිදීමක් වේ ද පඤ්චකාමගුණ සංඛ්‍යාත ඇලෙන තැන් නැති ස්වාභාවයක් වේ ද එය දුඃඛ නිරෝධාර්‍ය්‍යසත්‍යය ය” යනු එහි තේරුම ය. එහි කෙටි අදහස නිවන ම නිරෝධසත්‍යය යනු යි.

ජාති ජරා ව්‍යාධි මරණාදි දුක්වලින් පෙළෙමින් දුඃඛස්කන්ධයක් වන පඤ්චෝපාදානස්කන්ධයම ආත්ම කොට වෙසෙන සත්ත්වසමූහයාට පිහිටක් සොයන්නාවූ භාග්‍යවතුන් වහන්සේට ලෝකත්‍රයෙහි කිසිම තැනක කිසිම භවයක ඒ දුක්වලින් තොර තැනක් නැති බව, නිත්‍යසුඛයක් ඇති තැනක් නැති බව පෙනිණ. පඤ්චෝපාදානස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධය දරන්නා හට දුකින් තොරවීමට ඇති එකම පිහිට නිත්‍ය වූ එකම පිහිට ඒ දුඃඛස්කන්ධයාගේ නිරෝධය ම බව කිසිවකුගේ උපදේශයකින් තොරව ස්වශක්තියෙන්ම තථාගතයන් වහන්සේ අවබෝධ කොට වදාළ සේක. ඒ දුඃඛස්කන්ධයාගේ නිවීම දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි වදාළ සේක. දුඃඛස්කන්ධයාගේ පැවැත්මට දුඃඛස්කන්ධය නැවත නැවත ඇති වීමට හේතුව වන තණ්හාව නැති වුවහොත් දුඃඛස්කන්ධයාගේ නිරෝධය හෙවත් නො පැවැත්ම එයින් සිදුවන බැවින් නිරෝධසත්‍යය විස්තර කිරීමේදී තෘෂ්ණාවගේ නිරවශේෂ නිරෝධය දුඃඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය යි වදාළ සේක.

දුඃඛස්කන්ධයාගේ නිරෝධය වූ නිර්වාණධාතුවෙහි මමය අනිකාය කියා සැලකෙන නාමරූපයන්ගෙන් කිසිවක් නැත. ඒ නිරෝධයට පැමිණිය හොත් එය ලැබුව හොත් තමාත් නැතිවෙති යි සිතා ඇතැම්හු නිවනට බිය වෙති. ඇතැම්හු නිවන පලක් නැති දෙයකැ යි ද සිතති. නිවන පිළිබඳව එබඳු අදහස් ඇති වන්නේ දුඃඛසත්‍යය නො දැනීම නිසාය. ජරාව හා මරණය නාමරූපයන්ගේම අංග දෙකක් වන බැවින් සත්ත්වයන් වශයෙන් සලකන නාමරූප ඇත හොත් ජරාමරණයද ඇත්තේ ය. ජරා මරණය නැතිවීමට නම් නාමරූපයන් නැතිවිය යුතු ය. ව්‍යාධියත් එවායේම අංගයෙකි. නාමරූප ඇතොත් ව්‍යාධිය ඇත. ව්‍යාධිය නැතිවන්නට නාමරූප නැතිවිය යුතුය. සත්ත්වයා වශයෙන් සැලකෙන රූප කය හා නාමයන් ඇති කල්හි වැස්සෙන් පින්නෙන් අව්වෙන් සුළඟින් වන නොයෙක් පීඩා ඇත්තේ ය. උකුණන්ගෙන් මකුණන්ගෙන් පණුවන්ගෙන් මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් නපුරු සතුන්ගෙන් නපුරු මිනිසුන්ගෙන් නොයෙක් පීඩා ඇත්තේ ය. රූප කයක් නැතහොත් ඒවා ඇතිවන්නට තැනක් නැත. රූප කයක් ඇති කල්හි එය පැවැත්වීමට බොහෝ දේ සොයා ගන්නට සිදුවේ. එසේ සොයාගත් දේ ගිනි දිය ආදියෙන් නැසෙන්නේය. සොරු ගන්නාහ. සතුරෝ නසන්නාහ. රූප කයක් නැතහොත් තමාගේය කියා දෙයක් නැති බැවින් සොරසතුරන්ගෙන් පීඩාවක්ද නැත. කියන ලද අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය වන්නේ නාමරූප ඇති කල්හිය. ඒ දුඃඛය නො වීමට නම් පඤ්චස්කන්ධයක් නැතිවිය යුතුය. පඤ්චස්කන්ධයක් ඇතහොත් ප්‍රියවස්තු ප්‍රිය පුද්ගල කොටසක් ද ඇත. ඒවා ඇති කල්හි ප්‍රිය විප්‍රයෝග දුඃඛය ඇත. එය නැතිවීමටත් පඤ්චස්කන්ධයක් නො තිබිය යුතුය. පඤ්චස්කන්ධයක් ඇති කල්හි නොයෙක් ආශාවල් ඇති වේ. ආශා ඇතිවන තරමට ඒ දේවල් ලැබෙන්නේ ද නො වේ. ඒ කැමති වන දෑ නො ලැබීමේ දුක නැති වන්නට ද පඤ්චස්කන්ධය නැතිවිය යුතු ය. පඤ්චස්කන්ධය ඇති කල්හි එය පවත්වා ගැනීම සඳහා දිවි හිමියෙන් බොහෝ වෙහෙසිය යුතු ය. පඤ්චස්කන්ධය ඇතොත් ඒ වෙහෙසීමේ දුක ද ඇත්තේ ය. එය මුල් කොට තවත් බොහෝ දුක් ද ඇතිවන්නේ ය. එවායින් මිදිමට නම් පඤ්චස්කන්ධයක් නැති විය යුතු ය. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් ඇත්තේද පඤ්චස්කන්ධය ඇති කල්හිය. පඤ්චස්කන්ධයක් නැතහොත් ඒවාට ඇතිවන්නට තැනක් නැත. හිසරදය ඇතියකුට එය ඉතිරි කරගෙන සුවය නො ලැබිය හැකි ය. වනයක් ඇතියකුට වනය ඉතිරි කරගෙන සුවය නො ලැබිය හැකි ය. ගෙඩියක් ඇතියකුට ගෙඩිය ඉතිරි කර ගෙන සුවය නො ලැබිය හැකි ය. එමෙන් පඤ්චස්කන්ධයට සංඛ්‍යාත දුඃඛස්කන්ධය ඉතිරි කරගෙන දුක් නිවීම් සුවය නො ලැබිය හැකි ය. දුකට නො කැමැති නම් පඤ්චස්කන්ධයට නො කැමති විය යුතු ය. පඤ්චස්කන්ධයක් නැතිවෙනවාට බිය නො විය යුතු ය.

මාර්ග සත්‍යය

“ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං, අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො සෙය්‍යථිදං? සම්මාදිට්ඨි සම්මාසංකප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මා ආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි”

(ධම්මචක්කප්පවත්තන සූ.)

“මහණෙනි, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ම දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය ය. ඒ කවරේ ද? සම්මාදිට්ඨී සම්මාසංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යන මේ අට ය” යනු එහි තේරුම ය.

දුකින් මිදීමේ ක්‍රමය: නියම සැපය, ථිර සැපය ලැබීමේ ක්‍රමය සෙවූ භාග්‍යවතුන් වහන්සේට කිසිවකුගෙන් නො අසා කිසිවකුගෙන් උපදේශයක් නො ලබා මේ අෂ්ටාංගික මාර්ගය නිවනට පැමිණීමේ මාර්ගය බව අවබෝධ විය.

තථාගතයන් වහන්සේ චක්ෂුස ඒකාන්ත දුකක් බවත් එය ඇති කරන ප්‍රධාන හේතුව තණ්හාව බවත් ඒ දෙක්හි නො පැවැත්ම නිවන බවත් අෂ්ටාංගික මාර්ගය නිවන් ලැබීමේ උපාය බවත් දැන වදාළ සේක. එසේ ශ්‍රෝත්‍රස දුක බවත් එය ඇති කරන මූල හේතුව තණ්හාව බවත් ඒ දෙක්හි නො පැවැත්ම නිවන බවත් අෂ්ටාංගික මාර්ගය ඒ නිවන ලැබීමේ උපාය බවත් දැන වදාළ සේක. මෙසේ අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූ ද කාලත්‍රයට අයත් නො වූ ද සියල්ල සම්බන්ධයෙන් ම චතුස්සත්‍යය අවබෝධ කර වදාරා සර්වඥත්වයට පැමිණ වදාළ සේක.

සර්වඥතාඥානය

පටිසම්භිදාමග්ගයේ සෝළස පඤ්ඤානිද්දේසයේ තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය මෙසේ විස්තර කර ඇත්තේ ය.

“නත්ථි තස්ස භගවතො අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය. අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති”

යං කිඤ්චි නෙය්‍යං නාම අත්ථි, තං සබ්බං ජානිතබ්බං අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො ගම්භීරො වා අත්ථො ගුළ්හො වා අත්ථො පටිච්ඡන්නො වා අත්ථො නෙය්‍යො වා අත්ථො නීතො වා අත්ථො අනවජ්ජො වා අත්ථො නික්කිලෙසො වා අත්ථො වොදානො වා අත්ථො පරමත්ථො වා අත්ථො සබ්බං තං අන්තොබුද්ධඤාණෙ පරිවත්තති.

සබ්බං කායකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති, සබ්බං වචී කම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති, සබ්බං මනොකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති.

අතීතෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, අනාගතෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, පච්චුප්පන්නෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං.

යාවතකං නෙය්‍යං තාවතකං ඤාණං, ඤාණපරියන්තිකං නෙය්‍යං, නෙය්‍යපරියන්තිකං ඤාණං නෙය්‍යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා නෙය්‍යපථො නන්ථි, අඤ්ඤමඤ්ඤ පරියන්තට්ඨායිනො තෙ ධම්මා, යථා ද්වින්නං සමුග්ගපටලානං සම්මා ඵුසිතානං හෙට්ඨිමං සමුග්ගපටලං උපරිමං නාතිවත්තති, උපරිමං සමුග්ගපටලං හෙට්ඨිමං නාතිවත්තති, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො, එවමෙව බුද්ධස්ස භගවතො නෙය්‍යඤ්ච ඤාණඤ්ච අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො, යාවතකං නෙය්‍යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං තාවතකං නෙය්‍යං, නෙය්‍ය පරියන්තිකං ඤාණං ඤාණපරියන්තිකං නෙය්‍යං, නෙය්‍යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා නෙය්‍යපථො නත්ථි, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා, සබ්බෙසු ධම්මෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති.”

තේරුම:

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නො දන්නා ලද්දක්, නො දක්නා ලද්දක්, ඥානයෙන් නො පැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නො කරන ලද්දක්, ඥානයෙන් ස්පර්ශ නො කරන ලද්දක් නැත. අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූද සකලධර්මයෝ සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥාන මුඛයෙහි පෙනී සිටින්නාහ.

නෙය්‍ය නම් වූ යම් කිසිවක් ඇති නම් ඒ දත යුතු සියල්ල ආත්මාර්ථය හෝ වේවා, පරාර්ථය හෝ වේවා. උභයාර්ථය හෝ වේවා, දෘෂ්ටධර්මිකාර්ථය හෝ වේවා, සාම්පරායිකාර්ථය හෝ වේවා, නො ගැඹුරු අර්ථය හෝ වේවා, ගම්භීරාර්ථය හෝ වේවා, ගූඪාර්ථය හෝ වේවා, ප්‍රච්ඡන්නාර්ථය හෝ වේවා, නෙය්‍යාර්ථය හෝ වේවා, නීතාර්ථය හෝ වේවා, අනවද්‍යාර්ථය හෝ වේවා, නික්ලේශාර්ථය හෝ වේවා, ව්‍යවදානාර්ථය හෝ වේවා, නිර්වාණසංඛ්‍යාත පරමාර්ථය හෝ වේවා, ඒ සියල්ල බුද්ධ ඥානය තුළ පරිවර්තනය වෙයි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කායකර්ම සියල්ල ඥානය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වාක්කර්ම සියල්ල ඥානය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මනඃකර්ම සියල්ල ඥානය අනුව පවතී.

භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අතීතයෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අනාගතයෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය වර්තමානයෙහි සැපීමක් නැත.

ඥෙය යම් පමණ නම් ඥානය ද එපමණ වේ. ඥෙය, ඥානය හිමි කොට ඇත්තේ ය. ඥානය, ඥෙයය හිමි කොට ඇත්තේ ය. ඥෙයය ඉක්මවා ඥානය නො පවතී. ඥානය ඉක්මවා ඥෙයපථය නැත. ඒ ධර්මයෝ ඔවුනොවුන් පර්යන්ත කොට සිටින්නාහ. කටවල් මැනවින් හේත්තු වන සේප්පුවක් වැසූ කල්හි යම් සේ උඩුපියන යටිපියන ඉක්මවා නොසිටී ද, යටිපියන උඩුපියන ඉක්මවා නොසිටී ද, යම් සේ ඒ දෙක ඔවුනොවුන් කෙළවර කොට ඇත්තේ වේ ද, එමෙන්ම භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය හා ඥෙයය ඔවුනොවුන් කෙළවර කොට ඇත්තේ ය. යම් පමණ ඥෙයය වේද ඥානයද එපමණ වේ. ඥානය යම් පමණද ඥෙයය එපමණය. ඥානය, ඥෙයය කෙළවර කොට ඇත්තේය, ඥෙයය, ඥානය කෙළවර කොට ඇත්තේය. ඥෙයය ඉක්මවා ඥානය නො පවතී. ඥානය ඉක්මවා ඥෙයපථය නැත. ඒ ධර්මයෝ දෙදෙන ඔවුනොවුන් කෙළවර කොට සිටින්නෝ ය. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය සකල ධර්මයන්හි පවත්නේය.

සර්වඥතාඥානය සකලධර්ම විෂයෙහි කිසි තැනක පැකිළීමක් ගැටීමක් ආවරණයක් නැතිව ගමන් කරන බැවින් එයට අනාවරණඥාන යයි ද කියනු ලැබේ. සර්වඥතාඥානය ඇති බැවින් බුදුරදුන්ට සියල්ල නිරතුරුව පෙනෙමින් පවත්නේ නොවේ. ඒ ඥානය ඇති කල්හි නො දත හැකි නො දැකිය හැකි දෙයක් ද නැත. ආවර්ජනා කරන කරන සියල්ල ඉතා පිරිසිදු ලෙස ඒ ඥානයට පෙනෙන්නේය. එය ලොවුතුරා බුදුනට පමණක් ඇති අන් කිසිවකුට නැති විශේෂ ඥානයෙකි. එහි තතු සෙස්සන් විසින් නො දැකිය හැකිය. ඒ ඥානයේ සැටි කෙසේද? එක් පුද්ගලයෙකුට පමණක් එබඳු ඥානයක් ඇතිවිය හැකිද? බුදුරදුන් ඒ ඥානයෙන් එක විටම සියල්ල දුටුයේද? එකිනෙක වෙන් වශයෙන් බලා දැන සර්වඥ වූයේද? යනාදීන් සාමාන්‍ය ජනයා විසින් නො සිතිය යුතුය. ඒ සිතීම අනර්ථකරය. එබැවින් තථාගතයන් වහන්සේ විසින්,

“බුද්ධානං භික්ඛවෙ, බුද්ධවිසයො අචින්තෙය්‍යො. න චින්තිතබ්බො, යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස”

(අංගුත්තර චතුක්කනිපාත 238)

යනු වදාරන ලදී. “මහණෙනි, බුදුන්ගේ බුද්ධවිෂය නො සිතිය යුතු ය. එය සිතන්නේ උමතු බවටත් වෙහෙසටත් පත්වන්නේ ය” යනු එහි තේරුම ය.

දශබලඥානය

“දස ඛො පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති”

මෙසේ මහාසීහනාද සූත්‍රයෙහි වදාරා ඇති පරිදි තථාගතයන් වහන්සේ හට සෙස්සන්ට නැති ඥාන බල දශයක් ඇත්තේ ය. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි උත්තම ස්ථානයට පැමිණ සිටින සේක. ක්ෂත්‍රිය පිරිස ය, බ්‍රාහ්මණ පිරිස ය, ගෘහපති පිරිස ය, ශ්‍රමණ පිරිස ය, චාතුර්මහාරාජික පිරිස ය, තාවතිංස පිරිස ය, මාර පිරිස ය, බ්‍රහ්ම පිරිස ය යන අට පිරිසෙහි අභීත සිංහනාද පවත්වන සේක. බ්‍රහ්මචක්‍ර නම් වූ උත්තම ධර්මචක්‍රය පවත්වන සේක.

1. පළමුවන තථාගත බලය

ස්ථානාස්ථාන දන්නා නුවණ.

“ඉධ සාරිපුත්ත තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතෝ ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හොති. යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තෙති.”

(මහාසීහනාද සුත්ත)

මේ පාඨයෙහි ඨාන යන වචනයෙන් දක්වන්නේ ඒ ඒ කරුණු සිදුවීමේ ඒ ඒ දෙය ඇති වීමේ හේතුව ය. අට්ඨාන යන වචනයෙන් දැක්වෙන්නේ හේතු නොවන දෙය ය.

තථාගතයන් වහන්සේ ඒ ඒ දෙය සිදුවීමේ හේතු ද නිවැරදි ලෙස දන්නාහ. එසේ ම අහේතු ද නිවැරදි ලෙස දන්නාහ. ඒ හේතු අහේතු දෙක ඇති සැටියට ම නො වරදවා දන්නා නුවණ පළමුවන තථාගත බලය ය. ඒ බලයෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි අග්‍රස්ථානයට පැමිණ සිටින්නාහ. අටපිරිස මැද සිංහනාදය පවත්වන්නාහ. බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහ.

මේ ඥානයෙන් තථාගතයන් වහන්සේ සෝවාන් පුද්ගලයකු විසින් කිසි සංස්කාරයක් නිත්‍යය කියා ද සුඛය කියා ද ආත්මය කියාද වරදවා සිතා ගැනීමට කරුණක් නැති බව දන්නා සේක. පෘථග්ජනයකු විසින් නම් එසේ වරදවා සිතා ගැනීමට කරුණු ඇති බව දන්නා සේක. සෝවාන් පුද්ගලයකු විසින් මව මැරීමට පියා මැරීමට රහතුන් මැරීමට නපුරු සිතින් තථාගත ශරීරයෙහි ලේ මතුකිරීමට සංඝයා බිඳවීමට කරුණක් නැති බව දන්නාහ. පෘථග්ජනයකු විසින් එසේ කිරීමට කරුණු ඇති බව දන්නාහ. සෝවාන් පුද්ගලයකු විසින් භාවාන්තරයෙහිදී වුව ද බුදුරදුන් හැර අන්‍යයකු තමාගේ ශාස්තෲවරයා සැටියට පිළිගැනීමට කරුණක් නැති බව දන්නාහ. පෘථග්ජනයන්ට වනාහි අන්‍යයන් තමන්ගේ ශාස්තෲන් ලෙස පිළිගැනීමට කරුණු ඇති බව දන්නාහ. සෝවාන් පුද්ගලයකුට සසර අටවන වරටත් ඉපදීමට හේතුවක් නැති බවත්, එක් ලෝකධාතුවක එකවර ලොවුතුරා බුදුවරයන් දෙනමක් පහළවීමට හේතුවක් නැතිබවත්, එක් ලෝක ධාතුවක එකවර සක්විති රජුන් දෙදෙනකු පහළවීමට හේතු නැති බවත්, ස්ත්‍රීත්වයෙහි සිට ලොවුතුරා බුදු විය හැකි වීමට චක්‍රවර්ති රජ විය හැකිවීමට, ශක්‍රත්වය කළ හැකි වීමට මාරත්වය කළ හැකි වීමට බ්‍රහ්මත්වය කළ හැකි වීමට හේතුවක් නැති බවත් දන්නා සේක. කායදුශ්චරිත වාක්දුශ්චරිත මනෝදුශ්චරිත යන මේවායින් ඉෂ්ඨවිපාක ලැබීමට කරුණක් නැති බවත්, කායසුචරිත වාක්සුචරිත මනෝසුචරිත යන මේවායින් අනිෂ්ටවිපාක ලැබීමට කරුණක් නැති බවත් දන්නාහ. මෙසේ සියල්ල පිළිබඳව හේතු අහේතු දන්නාහ.

2. දෙවන තථාගත බලය.

කාලත්‍රයවර්තී වූ කර්මසමාදානයන්ගේ විපාක දන්නා නුවණ.

“පුන ච පරං සාරිපුත්ත, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත, තථාගතෝ අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගත බලං. යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තෙති.”

(මහා සීහනාද සුත්ත)

අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙහි වූ කුශලාකුශලකර්මයන්ගේ විපාක තත්ත්වාකාරයෙන් දන්නා නුවණ දෙවන තථාගත බලය බව මේ පාඨයෙන් දැක්වේ. කර්මවිපාක තත්ත්වය ඉතාම ගැඹුරු කරුණෙකි. එය බුදුවරුන්ට මිස ශ්‍රාවකයනට අවිෂය කරුණෙකි. ශ්‍රාවකයන්ට දත හැක්කේ කර්මවිපාකයෙන් සුළු කොටසක් පමණෙකි. තමතමන්ට දත හැකි ප්‍රමාණයෙන් කර්මවිපාක තත්ත්වය දැන ගැනීමට ශ්‍රාවකයන් විසින් ද උත්සාහ කළ යුතුය. එය සර්වාකාරයෙන් ම දැනගන්නට උත්සහ කළ හොත් සිතන්නට ගිය හොත් ඉන් ශ්‍රාවකයා අමාරුවට පත් වෙනවා මිස ඔහුට අන් පලක් නො ලැබේ.

එහෙයින්:-

“කම්මවිපාකො භික්ඛවෙ, අචින්තෙය්‍යො න චින්තිතබ්බො, යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස”

(අංගුත්තර 288)

යනුවෙන් “මහණෙනි, කර්මවිපාකය නො සිතිය යුත්තකි. නො සිතිය යුතු ය. එය සිතන තැනැත්තේ උමතුවටත් දුකටත් පැමිණේ ය”යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

තථාගතයන් වහන්සේගේ කර්මවිපාකඥානය වූ දෙවන තථාගතබලය අභිධර්මපිටකයේ විභංගප්‍රකරණයේ ඤාණවිභංගයේ මෙසේ සොළොස් ආකාරයකින් විස්තර කර තිබේ.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගතිසම්පත්තිං පතිබාළ්හානි න විපච්චන්ති.

ගතිසම්පත්තියෙන් වළක්වනු ලැබීමෙන් විපාක දිය නො හැකි ව ඇති ඇතම් පාපකර්මයෝ ඇතහ යනු එහි තේරුමය.

ගති යනු ආත්මභාවයට නමෙකි. කුශලකර්ම බලයෙන් ලබන මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආත්මභාවයෝ ගතිසම්පත්තිය ය. කුශලකර්මයකින් යහපත් ආත්මභාවයක් ලද කල්හි බෙහෙවින් කුශලකර්මයෝ ම විපාක දෙති. අතීතයෙහි කළ බොහෝ අකුශලකර්ම ඇතියහුට ඒ ආත්මභාවයේ දී ඒවා විපාක නො දෙති. ගතිසම්පත්තිය ඒවායේ විපාක දීම වළක්වයි.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි උපධිසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

උපධිසම්පත්තියෙන් වළක්වනු ලැබීම නිසා විපාක නො දෙන ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ යනු එහි තේරුම ය.
උපධිසම්පත්තිය යනු හොඳින් වැඩුණු අංගප්‍රත්‍යංග ඇති ශීතෝෂ්ණාදියට ඔරොත්තු දෙන වැඩට ඔරොත්තු දෙන වර්ණවත් වූ දුටුවන්ට සතුට ඇති කරන ශෝභන ශරීරය ය. අතීතයෙහි කළ බොහෝ අකුශල කර්මයන් ඇතියකු විසින් යම්කිසි කුශලයකින් උපධිසම්පත්තිය ලද හොත් රූපශෝභාව නිසා ඔහුට ගිය ගිය තැන සැලකිලි ලැබේ. උපධිසම්පත්තිය ඇති තිරිසන් සතාද බොහෝ සැප ලබති. ඇතැම් තිරිසනුන් දුප්පත් ඇතැම් මිනිසුන්ට ද වඩා සැප ලබන්නේ උපධිසම්පත්තිය නිසා ය. උපධිසම්පත්තිය ඇති තැනැත්තා බොහෝ දෙනාට ප්‍රිය බැවින් ඔහුට බොහෝ දෙනාගෙන් සැලකිලි ලැබෙන බැවින් සාගින්නේ සිටවන පාපකර්මය ඔහු සාගින්නෙන් සිටවීමට සමත් නොවේ. හොඳ ඇඳුම් පැළදුම් නැති කොට, කිළිටි වැරහිලි ඇඳුම් හඳවන කර්මය ඔහුට ඇඳුම් පැළඳුම් නැතිකිරීමට සමත් නොවේ. වාසස්ථානයක් නැති කරන කර්මය ඔහුට වාසස්ථානයක් නැතිකිරීමට සමත් නොවේ. මෙසේ උපධිසම්පත්තිය නිසා බොහෝ අතීත අකුශලකර්මයෝ තමන්ගේ විපාකය ඇති කිරීමට නො සමත් වෙති.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි කාලසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

කාලසම්පත්තිය වළක්වනු ලැබීම නිසා තමන්ගේ විපාකය නො දෙන්නා වූ ඇතැම් කර්මයෝ ඇතහ යනු එහි තේරුම ය.
හොඳ රජුන් ඇති හොඳ ආණ්ඩු ඇති හොඳ මිනිසුන් ඇති, කලට වැසි ලැබෙන - පමණට වැසි ලැබෙන කාලය සම්පත්ති කාලය ය. සම්පත්තිකාලයේ කාහටත් පහසුවෙන් ජීවත් විය හැකි ය. සත්ත්වයන් සාගින්නෙන් පෙළන පිපාසාවෙන් පෙළන රෝග වලින් පෙළන තවත් නොයෙක් අයුරින් සත්ත්වයන් පෙළන අකුශල කර්මයන්ට කාලසම්පත්තියේදී සත්ත්වයන් පෙළීමට ඉඩ නො ලැබේ. තමන්ගේ විපාක දානයට කාලසම්පත්තිය බාධා කරන බැවින් ඇතැමුන්ගේ බොහෝ අකුශලකර්මයෝ විපාක නො දී පවතිත්.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි පයොගසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

ප්‍රයෝගසම්පත්තියෙන් බාධිත බැවින් විපාක නො දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇතහ. ප්‍රණවධාදි අකුශල ක්‍රියාවලින් වැළකීම, සුචරිතය පිරීම, පමණට ආහාර ගැනීම, පමණට වියදම් කීරීම, ගොවිකම් අත්කම් ආදියෙහි යෙදීම, අන්‍යයන් හා හොදීන් විසීම ප්‍රයෝගසම්පත්තිය ය. එහි අනික් පැත්ත ප්‍රයෝගවිපත්තිය ය. ඇතැමකුට බොහෝ අතීත පාපකර්මයන් ඇත ද එයින් බොහෝවක් ප්‍රයෝගසම්පත්තිය ඇති ව සිටිනා කල්හි විපාක දීමට සමත් නො වන්නාහ.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගතිවිපත්තිං ආගම්ම විපච්චන්ති.

ගතිවිපත්තිය නිසා විපාක ගෙන දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ. අපායගතිය ගතිවිපත්තිය ය. යම්කිසි අකුශලයකින් අපායෙහි උපන හොත් ගතිසම්පත්තිය නිසා විපාක දීමට අසමත් ව තුබූ අකුශලකර්මයෝ ගතිවිපත්තියේදී විපාක දෙන්නට පටන් ගන්නාහ. ඉතා දුබල වූ ද අකුශලකර්මයට ගතිවිපත්තියේ දී විපාකදීමට අවකාශ ලැබේ. ගති විපත්තියට වරක් පැමිණියා වූ සත්ත්වයාහට ඔහු නැවත නැවත වරින් වර දිගට ම තිරිසන්බවින් ප්‍රේත බවට ද ප්‍රේතලෝකයෙන් නරකයට ද නරකයෙන් නැවත තිරිසන්බවට ද ප්‍රේතබවට ද පමුණුවමින් දීර්ඝකාලයක් අකුශලකර්මයෝ විපාක දෙන්නාහ. ඉතා දීර්ඝකාලයකින් මිස නැවත ඔහුට සුගතියට එන්නට ඉඩ නො ලැබෙන්නේ ය.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි උපධිවිපත්තිං ආගම්ම විපච්චන්ති.

උපධිවිපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ. ශරීරය අශෝභන වීම හා අංගවිකල වීම උපධිවිපත්තිය ය. ඇතැමුන්ට උපධි විපත්තිය උත්පත්තියෙන් ම හිමි වේ. ඇතැම්හු උත්පත්තියෙන් උපධිසම්පත්තිය ලබා පසු කාලයේ රෝගයන් හා අන්තරායයන් නිසා උපධිපත්තියට පැමිණෙති. උපාධිවිපත්තියෙහි පිහිටි විරූපී පුද්ගලයා ජනයාට අප්‍රිය ය. සහෝදර සහෝදරියන්ට මවු පියන්ට වුව ද එතරම් ප්‍රිය නැත. මා පියෝ ද උපධි සම්පත්තිය ඇති දරුවාට වඩා සලකති. එය නැති දරුවාට වැඩි සැලකිල්ලක් නො කරති. ගිය ගිය තැනදි විරූපී පුද්ගලයා කොන් කරති. ඒ නිසා උපධිසම්පත්තියේ දී විපාකදීමට නො සමත් දුබල අකුශලකර්මයෝ ද මේ අවස්ථාවේ දී ඔහුට විපාක දෙති.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි කාල විපත්තිං ආගම්ම විපච්චන්ති.

කාල විපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ. නපුරු රජුන් ඇති නපුරු ආණ්ඩු ඇති, නපුරු මිනිසුන් ඇති, කලට වැසි නො ලැබෙන ගොවිතැන් පාළු වන රෝග බහුල ආහාර දුලබ කාලය විපත්තිකාලය ය. කාලවිපත්තියේදී මනුෂ්‍යයාට නිතර ම පැමිණෙන්නේ දුක් කරදර ය. ඒ දුක් කරදර පැමිණීම කාලසම්පත්තියේදී විපාක දීමට නො සමත් ව තුබූ දුබල පාපකර්මයන් විපාක දීමට පටන් ගැනීම ය.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි පයෝගවිපත්තිං ආගම්ම විපච්චන්ති.

ප්‍රයෝගවිපත්තිය නිසා විපාක දෙන ඇතැම් පාප කර්මයෝ ඇතහ. බේබදුකම, සල්ලාලකම, සූදූව, පමණට වඩා උඬඟුවීම, අසල්වැසියන් විරුද්ධ කර ගැනීම, නො සැලකිල්ලෙන් කටයුතු කිරීම හා තවත් නොයෙක් පව්කම් කිරීම ප්‍රයෝග විපත්තිය ය. ඒ නිසා ඇතැමුන්ට නින්දා ලබන්නට පහර කන්නට නඩුවලට අසු වීමට රෝග වලට ගොදුරු වීමට රැකියාවෙන් පහ වීමට සිදු වේ. සමහර විට ඔවුන්ගේ ධනය ද සතුරෝ පැහැර ගනිති. සමහර විට විනාශ කර දමති. එසේ දුක් කරදර අලාභ හානි වීම ප්‍රයෝගසම්පත්තියේදී විපාක නො දිය හැකිව තුබූ පාපකර්මයන් ප්‍රයෝග විපත්තියේදී විපාක දීම ය.

අත්ථෙකච්චානි කළ්‍යාණානි කම්මසමාදානානි ගතිවිපත්ති පතිබළ්හානි න විපච්චන්ති.

ගති විපත්තිය නිසා විපාක නො දෙන්නා වූ ඇතැම් කුශල කර්මයෝ ඇතහ. ඇතැම්හු බොහෝ පින්කම් කරති. එසේ පින්කළ අයගෙන් ඇතමෙක් මරණාසන්නයේ දී දූ දරුවන්ට හෝ ගේදොර වතු පිටිවලට හෝ සඟවා ඇති යම්කිසි වස්තුවකට හෝ ආශාවෙන් සිට ප්‍රේත ව හෝ තිරිසන් ව හෝ උපදිති. ප්‍රේත ගතිය තිරශ්චීන ගතිය කුශලයන්ට විපාක දීමට තැනක් නො වන බැවින් ගතිවිපත්තියෙන් ඒ කුශලයෝ විපාක නො දෙති. තිරශ්චීන ප්‍රේතගති දෙක්හි ස්වල්ප වශයෙන් කුශලයන්ට විපාක දීමට අවකාශ ඇත. නිරයගතියට හෝ අසුර ගතියට පැමිණිය හොත් එහිදී කුශලයන් හට විපාක දීමට තැනක් ඇත්තේ ම නැතිබව කිය යුතු ය.

අත්ථෙකච්චානි කළ්‍යාණානි කම්මසමාදානානි උපධිවිපත්ති පතිබළ්හානි න විපච්චන්ති

උපධි විපත්තියෙන් බාධා වීම නිසා විපාක නො දෙන්නා වූ ඇතැම් කුශලකර්මයෝ ඇතහ. බොහෝ පින් ඇත්තා වූ කෙනකු යම්කිසි පාපකර්මයකින් ප්‍රේතයකු සේ විරූපව උපන හොත් ඉපදීමෙන් පසු සුදුකබර ආදි රෝගයකින් හෝ විරූප වුව හොත් අනතුරකින් අංගවිකලත්වයට හෝ පැමිණිය හොත් ඔහුට උපධිසම්පත්තියේ දී විපාක දිය හැකි කුශල කර්මයෝ විපාක නො දෙති. උපධි විපත්තිය නිසා බිරියක් ලැබීමට පින් ඇති තැනැත්තා බිරියක් නොලබයි. සැමියකු ලැබීමට පින් ඇති කත සැමියකු නො ලබයි. උසස් තනතුරු ලැබීමට පින් ඇත්තා තනතුරු නො ලබයි. පැවිද්ද ලැබීමට පින් ඇත්තා පැවිද්ද නො ලබයි. එයට නිදසුනක් වශයෙන් විභඞ්ග අටුවාවෙහි මේ කථාව දක්වා තිබේ.

දීපරාජ කථාව

පෙර ලක්දිව රජෙක් දරුවකු ලැබ සතුටු වී දේවියට වරයක් දිණ. දේවිය වරය ගැනීමට කල් තබා ගත්තාය. ඒ උපන් කුමරා සත්වස් අටවස් වයස් කාලයේ කුකුළන් පොර කෙටවී ය. එකල එක් කුකුළෙක් කලබල වී ඔහුගේ මුහුණට පැන්නේ ය. එයින් කුමරුගේ ඇස් අන්ධ විය. කුමරු සොළොස් හවුරුදු වයසට පැමිණි විට දේවිය ඔහුට රජකම ලබා දෙනු කැමති ව රජු වෙත ගොස් “දේවයන් වහන්ස කුමරු උපන් දිනයේ ඔබ වහන්සේ විසින් වරයක් දෙන ලද්දේ ය. ඒ වරය දැන් දුන මැනව”යි කීවාය. එකල්හි රජතුමා “වරය ගනුව”යි කීය. එකල්හි දේවිය “දේවයන් වහන්ස, නුඹවහන්සේගෙන් මා නො ලබන දෙයක් නැත. දැන් මම අපගේ පුත්‍රයාට රජ කම ඉල්ලමි”යි කීවා ය. “දේවියනි තොපගේ පුත්‍රයා අංගවිකලයෙකි, රජකමට නුසුදුස්සෙකි, එබැවින් ඔහුට රජය නො දිය හැකිය”යි රජු කී ය. “මා කැමති දෙයක් නො දෙන සේක් නම් එදා මට වරය දුන්නේ කුමට ද?” යනාදීන් දේවිය රජුට කරදර කරන්නට වන් කල්හි “තොපගේ පුත්‍රයාහට සම්පූර්ණ ලංකාරාජ්‍යය නො දිය හැකි ය. ඔහුට නාගදීපය දෙමි, ඔහු එහි ගොස් සේසත් ඔසවා වෙසේවා”යි කියා ඔහු නාගදීපයට යැවී ය. ඔහු දීපරාජ නම් විය. අංග විකල නොවී නම් ඔහුට සම්පූර්ණ ලංකා රාජ්‍යය ලැබෙන්නට තිබිණ. උපධිවිපත්තිය නිසා එය නො ලැබිණ.

අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි කාලවිපත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

කාලවිපත්තිය නිසා විපාක නො දෙන්නා වූ ඇතැම් කුශලකර්මයෝ ඇතහ. ලෝකය ගුණධර්ම වලින් පිරිහී ඇති, නපුරු රජුන්ගේ නපුරු මිනිසුන්ගේ බලය පවතින දුර්භික්ෂභය රෝගභය අමනුෂ්‍ය භය ඇති විපත්තිකාලයේ දී අතීතයෙහි කළ පින් ඇතියවුන්ට ද සැපසම්පත් නො ලැබේ. ඒ කාලයේදී සම්පත් ලබා දීමට කුශලකර්ම සමත් නො වේ. බොහෝ සම්පත් ලබා දීමට සමත් කුශලකර්මය වුව ද ඒ කාලයේදී සමත් වන්නේ සුළු සැපතක් ලබාදීමට පමණෙකි.

“විපස්සිආදයෝ පන සබ්බෙපි බොධිසත්තා මෙත්තාපුබ්බාභාගෙන සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාරිකචිත්තෙත මාතුකුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හිංසු, තෙන චිත්තෙන ගහිතාය පටිසන්ධියා අසංඛෙය්‍යං ආයු ඉති සබ්බෙ බුද්ධා අසංඛෙය්‍යමායුකා.”

(මහාපදාන සුත්තට්ඨ කථා)

යනුවෙන් විපස්සි ආදි සියලු ම බෝධිසත්ත්වයන් මෛත්‍රී පුර්වභාග සෝමනස්ස සහගත ඥානසම්ප්‍රයුක්ත අසංස්කාරික කුශලයෙන් මවුකුස පිළිසිඳගන්නා බවත් ඒ සිතින් ප්‍රතිසන්ධිය ගත් කල්හි අසංඛෙය්‍යයක් ආයු ඇති බවත් සියලු බුදුවරයන් අසංඛෙය්‍යායුෂ්කයන් බවත් මහාපදාන සූත්‍ර අටුවාවෙහි කියා තිබේ. වර්ෂ අසංඛෙය්‍යයක් ජීවත් කරවීමට ශක්තිය ඇති කර්මයෙන් උපන් බුදුවරයන් එපමණ කල් ජීවත් නො වන්නේ කාලවිපත්තිය නිසා ය. අසංඛෙය්‍යායුෂ්ක කාලයේ උපන හොත් ඒ කර්මය බුදුවරයන් වර්ෂ අසංඛෙය්‍යයක් ජීවත් කරවීමට සමත් වෙයි. උන්වහන්සේලා උපදනා කාලය එතරම් ජීවත් විය හැකි කාලයක් නො වන බැවින් කාලය අනුව කර්ම ශක්තිය ගෙවී යයි.

අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි පයොග විපත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

ප්‍රයෝගවිපත්තිය නිසා විපාක නො දෙන ඇතැම් කර්මයෝ ඇත්තාහ. නො මනා පැවැත්ම ඇති කල්හි මොහු බේබද්දෙක සල්ලාලයෙක සොරෙක බොරුකාරයෙක කපටියෙක කියා සෙස්සෝ ඔහු වර්ජනය කරති, ගෙදරකට බාර නො ගනිති. ගෙදරකට පැමිණිය ද ඔහු ආදරයෙන් නො පිළිගනිති. මේ ධනය මොහුට පැවරුහහොත් විනාශ කරනු ඇත කියා එබඳු දරුවාට දායාද දීමට මවුපියෝ නො කැමති වෙති. එවනි පුද්ගලයාට අතීත කුශලයන් ඇත ද ප්‍රයෝගවිපත්තිය නිසා ඒවායේ විපාක නො ලැබේ.

අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි ගතිසම්පත්තිං ආගම්ම විපච්චන්ති.

ගතිසම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් කුශලකර්මයෝ ඇතහ. ඇතැමකුට ඇත්තා වූ කුශල කර්මයෝ ගතිවිපත්තියට පැමිණ ඇති බැවින් විපාක නො දෙති. එබඳු පුද්ගලයකු යම්කිසි කුශලයකින් සුගතියෙහි උපන හොත් එතැනට ඒ කර්ම පැමිණ වරින් වර විපාක දෙන්නට වන්නේය. එසේ විපාක දෙන්නට පටන් ගැනීම නිසා හෙතෙමේ මිනිස් ලොවින් දෙව්ලොවට දෙව්ලොවින් මිනිස් ලොවට නැවත නැවත උපදිමින් සැප ලබන්නේ ය.

අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි උපධිසම්පත්තිං ආගම්ම විපච්චන්ති.

උපධිසම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් කුශලකර්මයෝ ඇතහ. උපධිසම්පත්තිය ඇත්තේ ජනයාට ප්‍රිය ය. ගිය ගිය තැනදී ඔහු ආදරයෙන් පිළිගනිති. ඔහුට සංග්‍රහ කරති. නැවත ද පැමිණෙන්නට ආරාධනා කරති. උපධිසම්පත්තිය ඇති දරුවා ගැන වැඩි ආදරයක් මවුපියන්ට වුවද ඇති වේ. එබැවින් ඔවුහු උපධිසම්පත්තිය ඇති දරුවාට වැඩි සැලකිල්ලක් දක්වති. ඔහු දියුණු කිරීමට වැඩියෙන් උත්සාහ කරති. වැඩක් ඇති කල්හි ඔහු ලවා එය නො කරවා තුමූ ම කර ගනිති. වැඩ කරන කල්හි ද ලෙහෙසි වැඩ ඔහුට දී බර වැඩ තුමූ කරති. මේ සැලකිලි ලැබීම කුශලකර්මවල විපාක දීමකි. එහෙත් එය ලැබෙන්නේ උපධි සම්පත්තිය ලද හොත් ය.

අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි කාලසම්පත්තිං ආගම්ම විපච්චන්ති.

කාලසම්පත්තිය නිසා විපාක දෙන ඇතැම් කුශල කර්මයෝ ඇතහ. සමහර කෙනෙකුට බොහෝ පින් ඇත. එහෙත් විපත්තිකාලවලදී විපාක ඇති කිරීමට ඒ පින් සමත් නො වේ. සම්පත්ති කාලය පැමිණි විට කාලවිපත්තියෙන් යටපත් ව තුබූ ඒ කුශලකර්මයෝ බොහෝ සුඛවිපාක ගෙන දෙති. විභංග අටුවාවෙහි එයට සාධක වශයෙන් මහාසෝණ තෙරුන් වහන්සේගේ හා වත්තබ්බක නිග්‍රෝධ තෙරුන් වහන්සේගේ කථා දක්වා තිබේ. කර්මතත්ත්වය පමණක් නොව පැරණි හාමුදුරුවන්ගේ හා සැදැහැවත් ගිහි බෞද්ධයන්ගේ තතුද දැන ගැනීමට උපකාර වන බැවින් බෞද්ධයන් අතර ප්‍රසිද්ධියක් නැති ඒ කථා දක්වනු ලැබේ.

මහාසෝණ තෙරුන් වහන්සේගේ කථාව

වට්ටගාමිණි රජුගේ කාලයේදී ලක්දිව දොළොස් වසක නියඟයක් පැවතිණ. ගොවිතැන් පාළු වී ගියෙන් ජීවත්වීමේ ක්‍රමයක් නැති ව බොහෝ මිනිස්සු වනගත වූහ. ඒ කාලයේ ම තිස්ස නම් බ්‍රාහ්මණයෙක් පිරිස් බලය ඇති කර ගෙන රට පෙළන්නට විය. ඒ නිසා ද ජනයාට නගරග්‍රාමයන්හි විසීම අපහසු විය. තිස්ස බ්‍රාහ්මණයා මුල් කොට ඇති වූ මේ විපත බ්‍රාහ්මණ තිස්සභය නමින් හඳුන්වා තිබේ.

විපත්තිකාලය එළඹ සිටන කල්හි සැමදෙය ම විනාශ වේ. එකල සිතුල්පව් වෙහෙර දොළොස් දහසක් භික්ෂූහු විසූහ. තිස්සමහාවිහාරයෙහි ද එපමණ ම භික්ෂූහු විසූහ. ඒ විහාර දෙක්හි තුන්තුන් අවුරුද්දට සෑහෙන තරමට වී තිබිණ. සියල්ල ම මීයන් විසින් කා දමන ලද්දේ ය. සිතුල්පව්වේ භික්ෂූන් වහන්සේ “තිස්සමහාවිහාරයෙහි වී ඇතැ”යි සිතා එහි යන්නට පිටත් වූහ. තිස්සමහාවිහාරයේ සංඝයා වහන්සේද “සිතුල්පව්වෙහෙර වී ඇතැ”යි සිතා එහි යන්නට පිටත් වූහ. විහාර දෙක්හි සංඝයා වහන්සේ එක් ගැඹුරු කඳුරක් සමීපයේ හමු වී ඔවුනොවුන් කථා කොට විහාර දෙක්හි වී ඉවර වී ඇති බව දැන “තැනින් තැන යාමෙන් කිනම් ප්‍රයොජනයක් දැ”යි සිතා ගැඹුරුකඳුරු වනයට පිවිස තැන් තැන්වල වැඩ හිඳ සැමදෙනා වහන්සේ ම හිඳිනා ඉරියවුවෙන් පිරිනිවී ගියාහු ය. උන්වහන්සේලාගේ සිරුරු ආදාහන කරන්නට කෙනෙක් එකල එහි නො වූහ. විපත්තිකාලය ඉක්ම ගිය පසු එකල විසූ සංඝයා විසින් ඒ රහතුන්ගේ ධාතුන් රැස් කර චෛත්‍යයක් කරවන ලද්දේය.

තිස්ස බ්‍රාහ්මණයා රට වැනසීම නො නවත්වා ම කර ගෙන ගියේ ය. ඒ උවදුරු නැවැත්වීම සඳහා මහා සංඝයා වහන්සේ රැස් ව කථා කර තෙරුන් වහන්සේලා අටනමක් සක්දෙව් රජුවෙත යැවූහ. සක්දෙව් රජු මේ විපත තමාට නො සන්සිඳවිය හැකිබව කියා සංඝයා වහන්සේට මුහුදින් එතරට වැඩම කරන ලෙසත් මුහුදේදී තමා ආරක්ෂාව සලසන බවත් කීය. නානාදිශාවන්හි විසූ භික්ෂූන් වහන්සේ නාගදීපයට රැස්වී දඹකොළපටුනෙහි මහපසුරක් බැඳවූහ. එහි වැඩ අවසන් වූ පසු පරතෙර යනු පිණිස සංඝයා වහන්සේ එයට නැඟ වැඩහුන්හ. සංයුත්තභාණක චූළසීව තෙරුන් වහන්සේ ය, ඉසිදත්ත තෙරුන් වහන්සේ ය, මහාසෝණ තෙරුන් වහන්සේ ය යන තෙනම ඒ පිරිසෙහි ප්‍රමුඛයෝ වූහ. උන්වහන්සේලාගෙන් දෙනමක් මහාසෝණ තෙරුන් වහන්සේට පසුරට නගින්නට කීහ. “නුඹවහන්සේලා කුමක් කරන්නහු දැ”යි මහාසෝණ තෙරණුවෝ ඇසූහ. අපි මෙහි ම නවතින්නෙමු. ඔබ නිසා අනාගතයෙහි බුදුසස්න රැකෙන්නේ ය. ඒ නිසා ඔබ යන්නය”යි උන්වහන්සේලා කීහ. “ස්වාමීනි, නුඹවහන්සේලා නො යන්නාහු නම් මම ද නො යමි, මට ද නුඹවහන්සේලාට වන දෙයක් වේවා”යි කියා මහාසෝණ තෙරණුවෝ ද නො ගියහ. සෙසු භික්ෂූහු දිවිරැක ගනු පිණිස පරතෙර ගියහ.

චූලසීව තෙරණුවෝ ඉසිදත්ත තෙරුන් වහන්සේ අමතා “ඇවැත්නි, මහාසෝණස්ථවිරයන් නිසා අනාගතයෙහි ශාසනපරම්පරාව පවතින්නේ ය. එබැවින් ඒ ආයුෂ්මතුන් අත නො හරිනු මැනව”යි කීහ. “නුඹ වහන්සේ කුමක් කරන්නහු දැ”යි ඇසූ කල්හි “මම මහසෑය වඳින්නට යෙමි”යි කීහ. උන්වහන්සේ අනුරාධපුරය බලා වැඩම කොට මහාවිහාරයට පැමිණියහ. දහස් ගණනින් භික්ෂූන් සිටි මහා විහාරය පාළුබිමක්ව තිබිණ. මහසෑමලූවෙහි එරඬු ගස් වැවී තිබිණ. සෑයෙහි සෙවෙල් බැඳී තැනින් තැන වල් පැළෑටිවලින් වැසී තිබිණ. තෙරණුවෝ ජීවමාන බුදුරදුන්ට සෙයින් ගෞරව දක්වා චෛත්‍ය වැඳ පැදුම්දිග ශාලාවකට පිවිස ඉමහත් සංවේගයෙන් චෛත්‍යයට සිදු වී ඇති විපත ගැන සිතමින් සිටියහ.

සමීපයේ ගසක වෙසෙන දෙවියෙක් තෙරුන් වහන්සේ දැක සකුරු හා සහල් නැළියක් ගෙන මගියකුගේ වෙසින් උන්වහන්සේ වෙත පැමිණ “ස්වාමීන් වහන්සේ කොහි වඩනා සේක්දැ”යි ඇසීය. “උපාසකය, මම දකුණට යෙමි”යි තෙරණුවෝ කීහ. “එසේ නම් මමත් නුඹ වහන්සේ සමඟ ම යෙමි”යි මගියා කීය. “උපාසකය, දුබල වූ මට ඔබ යන හැටියට නො යා හැකි ය. ඔබ යන්න” යයි තෙරණුවෝ කීහ. “මම ද නුඹ වහන්සේ යන පරිදිම යෙමි ය” කියා මගියා තෙරුන් වහන්සේගේ පා සිවුරු ගත්තේ ය. තිසා වැව සමීපයට පැමිණි කල්හි මගියා තෙරුන් වහන්සේට ගිලන්පසක් සාදා පිළිගැන්වී ය. එයින් තෙරුන් වහන්සේට තරමක ශක්තියක් ඇති විය. එයින් ගොස් වේණු නදී තීරයේ පාළු පන්සලකට පැමිණි මගියා තෙරුන් වහන්සේට වාසස්ථානයක් පිළියෙල කර දුන්නේ ය. පසු දින උදයේ මගියා තෙරුන් වහන්සේට කැඳ පිස පිළිගැන්වී ය. ඉක්බිති මගියා බත් පිස දාවල් කාලයේ තෙරණුවන්ට පිළිගැන්වී ය. තෙරුන් වහන්සේ “ඔබටත් බත ඉතිරි කර ගන්න”යි කියා පාත්‍රය අතින් වැසූහ. මගියා “මට තව වැඩිදුරක් යන්නට නැත” කියා සියල්ල තෙරුන් වහන්සේගේ පාත්‍රයට බෙදුවේය. තෙරුන් වහන්සේ වළදා අවසන් කළ පසු මගියා උන්වහන්සේගේ පා සිවුරු ගෙන යන්නේ දැදුරුඔය සමීපයට පැමිණ “ස්වාමීනි, අර දුමක් පෙනෙන්නේ කොළ කා ජීවත්වන මිනිසුන්ගේ වාසස්ථානයක ය, මම කලින් එහි යමි ය” කියා තෙරුන් වහන්සේ වැඳ මගීවෙසින් සිටි දෙවියා ඔහුගේ භවනට ගියේ ය. තෙරුන් වහන්සේ දුර්භික්ෂ කාලය ඉක්මෙන තුරු කොළ කන මිනිසුන් ඇසුරෙන් එහි විසූහ.

ඉසිදත්ත මහාසෝණ යන තෙරුන් වහන්සේලා දෙනම චාරිකාවෙහි හැසිරෙන්නාහු අළ ජනපදයට පැමිණියෝ ය. එහි එක් තැනක මිනිසුන් විසින් ඇට ගෙන ඉවත ලා ගිය මී පොතු රැසක් තිබිණ. ඉසිදත්ත තෙරුන් වහන්සේ ඒවා දැක “ඇවැත්නි, ආහාරයක් පෙනේ ය”යි මහාසෝණ තෙරුණුවන්ට කියා සිවුරු පොරවා ථවිකාවෙන් පාත්‍රය අතට ගෙන එහි සිටියහ. ගම්දරුවෝ තෙරුන් වහන්සේ පාත්‍රය ගෙන සිටිනු දැක “මුන්වහන්සේට මී පොතු වුවමනා වී ඇතැයි”යි සිතා ඒවා ගෙන වැලි පිස තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි බහා පිළිගැන්වූහ. තෙරුන් වහන්සේලා දෙනම මී පොතු වැළඳූහ. උන්වහන්සේලාට සතියකට ම ආහාරය වූයේ එය ය. ක්‍රමයෙන් යන්නා වූ තෙරුන් වහන්සේලා චෝරියස්සර නම් විල්තෙරට පැමිණියෝ ය. මිනිසුන් මල් ගෙන ඉවත දමා ගිය නෙළුම් දඬු එහි තිබිණ. ඉසිදත්ත තෙරුන් වහන්සේ ඒවා දැක පෙර සේම පාත්‍රය අතට ගෙන ඒ සමීපයෙහි සිටියහ. ගම්දරුවෝ එසේ ඉන්නා තෙරුන් වහන්සේ දැක නෙළුම් දඬු පිළිගැන්වූහ. තෙරුන් වහන්සේලා ඒවා වැළඳූහ. උන්වහන්සේලාට සතියකට ආහාරය වූයේ එය ය. මේ තෙරුන් වහන්සේලා දිවි යතත් තථාගතයන් වහන්සේ විසින් පනවා ඇති සිකපද කඩ නො කරන්නාහ. සෙසු මිනිසුන් මෙන් වනයෙහි ඇවිද ආහාරයට ගත හැකි කොළ පොතු අල සොයා උන්වහන්සේලා නො වළඳා මෙසේ දැඩි දුක් විඳින්නේ සිකපද කඩ නො වනු සඳහා ය.

මෙසේ ක්‍රමයෙන් යන්නා වූ තෙරුන් වහන්සේලා කැලෑ කොළ වලින් ජීවත් වන මිනිසුන් වෙසෙන ගමක් සමීපයට පැමිණියෝ ය. එහි එක් දැරියකගේ මාපිය දෙදෙන “ආර්‍ය්‍යන් වහන්සේ නමක් පැමිණිය හොත් යන්නට නො දී නවතා ගන්නය”යි දුවට කියා ආහාරයට යමක් සොයනු පිණිස වනයට ගියෝ ය. ඕ තෙරුන් වහන්සේලා දැක පාත්‍ර ගෙන අසුන් පනවා හිඳවා ගත්තා ය. උන්වහන්සේලාට ආහාරයක් සම්පාදනය කොට පිළිගැන්වීමට ගෙයි කිසිවක් නො තිබිණ. ඕ වෑය ගෙන ගසකින් පොතු ගලවා ඒවා ඔලිඳ කොළ ද සමග වනෙහි ලා කොටා ගුළි තුනක් සාදා එකක් ඉසිදත්ත තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි ද එකක් මහාසෝණ තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි ද තැබුවා ය. දැරිය ඉතිරි ගුළිය ඉසිදත්ත තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි තබන්නට අත දිගු කෙරෙත් ම මහාසෝණ තෙරුන් වහන්සේගේ පාත්‍රය දෙසට අත ඉබේම හැරී යාමෙන් ඉතිරි ගුලිය මහා සෝණ තෙරණුවන්ගේ පාත්‍රයෙහි තැබුවා ය. එකල්හි ඉසිදත්ත තෙරණුවෝ “බ්‍රාහ්මණතිස්ස භයේදී රුක්පොතු ගුළිය සම්බන්ධයෙන් විපාක දෙන කර්මය කාලසම්පත්තියේ දී කොපමණ විපාක දෙනු ඇති දැ”යි කීහ. උන්වහන්සේලා ඒවා වළදා දැරිය විසින් පෙන්වූ වාසස්ථානයට වැඩම කළහ. මාපියන් පැමිණි කල්හි දැරිය තෙරුන් වහන්සේලා පැමිණි ඇති බව ඔවුනට කීවා ය. මාපිය දෙදෙන තෙරුන් වහන්සේලා වෙත ගොස් වැඳ “ස්වාමීනි, අපිට ලැබෙන සැටියකින් නුඹවහන්සේලාට සත්කාර කරන්නෙමු. නුඹවහන්සේලා මෙහි ම වෙසෙන සේක්වා”යි ආරාධනා කළෝ ය. උන්වහන්සේ දෙනම භය දුරු වී රට සුභික්ෂ වන තුරු එහි විසූහ. සැදැහැවත් බෞද්ධයා විපතේ දී ද භික්ෂූන් වහන්සේ අමතක නො කරන බව මේ පුවතින් දත හැකිය.

විපත්තිකාලය ඉක්ම ගිය පසු මුහුදින් එතෙර ගිය භික්ෂූන් වහන්සේ පෙරළා පැමිණ මහාසෝණ තෙරුන් වහන්සේ වෙසෙන තැන අසා එහි ගියෝය. තෙරුන් වහන්සේ භික්ෂූන් පන්සියයක් සමඟ කාළක නම් ගම මණ්ඩලාරාම විහාරයට වැඩම කළහ. ඒ ගමහි පවුල පන්සියයක් විසූහ. එදින රාත්‍රියේ දේවතාවෝ ගමෙහි ගෙයක් නො හැර ගොස් “මහාසෝණ තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ හා මණ්ඩලාරාම විහාරයට පැමිණ සිටින්නාහ. සෙට හැමගෙයකින් ම කහවණුවක් අගනා පිණ්ඩපාතය සමග නවරියන් සළුවක් උන්වහන්සේට පිරිනමන්නය”යි කීවෝ ය.

පසු දින තෙරුන් වහන්සේලා කාළක ගමට පිඬු පිණිස පිවිසියෝ ය. ගැමියෝ උන් වහන්සේලා වඩා හිඳුවා කැඳ පිළිගැන්වූහ. ඒ පිරිසෙහි මණ්ඩලාරාමවාසී තිස්සභූති තෙරණුවෝ සංඝස්ථවිරයෝ වූහ. එක් මහා උපාසකයෙක් පැමිණ උන්වහන්සේ වැඳ “හිමියනි, මහාසෝණ ස්ථවිරයෝ නම් කවුරුදැ”යි ඇසී ය. එසමයෙහි මහාසෝණ තෙරණුවෝ නවකයෝය, උන්වහන්සේ වැඩ සිටියේ පිරිස කෙළවරය. තෙරුන් වහන්සේ අත දිගු කොට “මහාසෝණ ස්ථවිර මොහුය”යි දැක්වූහ. උපාසක තෙමේ තෙරණුවන් වැඳ පාත්‍රය ගන්නට තැත් කෙළේ ය. මහාසෝණ ස්ථවිරයෝ වැඩිමාළු තෙරවරුන් ඇති බැවින් තමන් ගේ පාත්‍රය උපාසක තැනට නො දෙති. එකල්හි තිස්සභූති තෙරණුවෝ “ඇවැත්නි සෝණ, මේ කිමෙක්දැයි ඔබ නො දන්නාක් මෙන් අපි ද නො දනිමු, පින් ඇතියනට දේවතාවෝද සංග්‍රහ කෙරෙති, එබැවින් පාත්‍රය දෙන්නය”ය කීහ. තෙරුන් වහන්සේ උපාසක තැනට පාත්‍රය දුන්හ. ඔහු කහවණුවක් අගනා පිණ්ඩපාතය එහි තබා නවරියන් සළුවක් පාත්‍රයට යටින් තබා ගෙනවුත් උන්වහන්සේට පිරිනැමීය. එසේ සත්සිය දෙනෙක් ම උන්වහන්සේට නවරියන් සළුවක් සහිත කහවණුව බැගින් අගනා පිණ්ඩපාතය පිරිනැමූහ.

තෙරණුවෝ තමන්ට වූ ලාභයෙන් මහාසංඝයාට සංග්‍රහ කොට මහසඟන හා අනුරාධපුරයේ මහාවිහාරයට ගොස් මහාබෝධිය හා මහසෑය වැඳ ථූපාරාම විහාරයෙහි සිට සිවුරු පොරොවා මහසඟන සමඟ දකුණු දොරටුවෙන් නගරයට පිවිසෙන්නාහු දොරටුවෙහි සිට වළඳනා ශාලාව තෙක් මාර්ගයේදී ම කහවණු සැටක් අගනා පිණ්ඩපාතය ලැබූහ. ඉන් ඔබ්බෙහි ලැබූ සත්කාර අප්‍රමාණ විය. මෙතෙක් ලැබීමට පින් ඇති සෝණ තෙරුන් වහන්සේට කාල විපත්තියේදී මීපොතු නෙළුම්දඬු හෝළුදඩු කැලෑ කොළ ද දුලබ විය. කාලසම්පත්තියේ සියගණනකට සෑහෙන්නට ප්‍රත්‍යය ලබා දීමේ ශක්තිය ඇති මහාසෝණ තෙරුන් වහන්සේගේ පින විපත්ති කාලයේදී කැලෑකොළ පමණවත් සෑහෙන්නට ලබාදීමට නො සමත් විය.

නිග්‍රෝධ තෙරුන් වහන්සේගේ කථාව

බ්‍රාහ්මණතිස්සහය පැවති කාලයේ වත්තබ්බක නිග්‍රෝධ තෙරණුවෝ සාමණේර නමෙකි. ඒ නම හා ඔහුගේ උපාධ්‍යායයන් වහන්සේ පරතෙරට නො ගොස් මෙහිම විසූහ. ඒ දෙනම “දුර්භික්ෂයේ කොළ කන මිනිසුන් ඇසුරෙන් ජීවත් වන්නෙමුය”යි ප්‍රත්‍යන්තයට ගියෝ ය. සාමණේර නම සතියක් ම අහරක් නො ලැබ සිට ගමක් තුබූ තැනක තල්ගසක තල් ගෙඩි තිබෙනු දැක, “ස්වාමීනි, මඳකට නවතිනු මැනව, තල්ගෙඩි කඩමි”යි කීය. “සාමණේරය, ඔබ දුබලව සිටින්නෙහි ය. ඒ නිසා තල්ගසට නො යව”යි උපාධ්‍යායයෝ කීහ. “කුමක් වුවත් ගසට නගිමි”යි කියා සාමණේර නම පිහියක් ද ගෙන ගසට නැංගේ ය. තල්ගෙඩි කපා හෙලන්නට තැත් කෙරෙත්ම සාමණේර නමගේ පිහි තලය මිටින් ගිලිහී බිම වැටිණ. සතියකින් අහරක් නො ලත් සාමණේර නමට ගසින් බැස පිහිතලය ගෙන නැවත ගසට නැගීමට ශක්තිය නැත. උපාය දන්නා සාමණේර නම තල් පතක් ඉරා එහි කොණක පිහිමිට බැඳ තවත් තල්පත් ඉරා ඉරා එකින් එක ගැට ගසමින් පිහිමිට පොළොවට එවා “ස්වාමීනි, පිහිතලය මෙහි ඇමුණුව හොත් යෙහෙකැ”යි උපාධ්‍යායයන් වහන්සේට කී ය. උපාධ්‍යායයෝ එසේ කළහ. සාමණේර නම තල්පල කපා හෙළීය.

උපාධ්‍යායයෝ පිහිය බිම හෙළවා තල්ගෙඩියක් ගෙන කපා තබා සාමාණේර නම ගසින් බට කල්හි ඔහුට දුන්හ. විපතේදී ද සිරිත් කඩ නො කරන සාමණේර නම “මම නුඹ වහන්සේට පළමු නො වළඳිමි”යි කියා පිහිය ගෙන තල්ගෙඩි කපා මද උපුටා තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි ලා පිළිගන්වා තමා පසුව අනුභව කෙළේ ය. ඒ ගුරුගෝල දෙනම ගසෙහි තල්ගෙඩි ඇති තෙක් එහි වැස ක්‍රමයෙන් යන්නාහු කොළ කන මිනිසුන් වෙසෙන පෙදෙසක පාළු පන්සලකට පැමිණියෝ ය.

සාමණේර නම ගුරුවරයාට විසීමට තැනක් පිළියෙල කෙළේ ය. තෙරණුවෝ සාමණේර නමට අවවාද කොට පන්සලට පිවිස දොර වසා සැතපුණෝ ය. සාමණේර තෙමේ. “අතීත සංසාරයේ විපත්වලින් මළ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නැත. ජීවත් වන මේ කාලයේ හැකි පමණින් බුදුනට උපස්ථාන කෙරෙමි”යි තණ වැවී තුබුණු සෑමලුවට ගොස් එය පිරිසිදු කරන්නට පටන් ගත්තේ ය. දින ගණනකින් අහරක් නො ලත් සාමණේර නමට නැඟී සිටීම දුෂ්කර වූයෙන් බිම වැතිර තණ උදුරන්නට පටන් ගත්තේ ය. වනයෙහි ඇවිද දර හා පළා සපයා මී වද ද ලබා ගෙන යන මිනිසුන් සමූහයක් එතැනින් යන්නාහු තණ සෙලවනු දැක එහි ගොස් විමසන්නාහු සාමණේරයන් දැක තොරතුරු විමසන්නාහු මහතෙරනමකුදු ඇති බව අසා දෙනම ම වළඳන්නය කියා සාමණේර නමට මී වද දුන්හ. ඉක්බිති ඔවුහු තමන් වාසය කරන තැන කියා. “සෙට තෙරුන්වහන්සේ ද සමඟ වැඩම කරනු මැනව”යි ආරාධනා ද කොට ගියෝ ය. සාමණේර නම මී ගෙන තෙරුන් වහන්සේ වෙත ගොස් පිටත සිට “වඳිමි ස්වාමීනි”යි කීය. තෙරණුවෝ “සාමණේර නම සාගින්නේ දැවෙන නිසා අවුත් කථා කරති”යි සිතා තුෂ්ණීම්භූත වුහ. තෙරුන් වහන්සේගෙන් පිළිතුරක් නො ලත් බැවින් සාමණේර නම නැවත ද එසේ කීය. එකල්හි තෙරණුවෝ “සාමණේරය, දුබල මහණුන්ට කුමක් නිසා නිදන්නට නො දෙන්නෙහි දැ”යි කීහ. “දොර අරින්නට හොඳය”යි සාමණේර නම කී ය. තෙරණුවෝ දොර ඇර “සාමණේරය, කුමක් ලද දැ”යි කීහ. “ස්වාමීනි, මිනිසුන් විසින් මී දෙන ලද්දේ ය, වළඳනු මැනව”යි සාමණේර නම කී ය. පානයක් කොට වැළඳීම පහසු බව තෙරුන් වහන්සේ කී කල්හි සාමණේර නම මීයෙන් පැනක් පිළියෙළ කොට තෙරුන් වහන්සේට පිළිගැන්වීය. “මිනිසුන් වෙසෙන තැන ඇසුවෙහි දැ”යි තෙරණුවෝ ඇසූහ. “නො අසා ම ඔවුහු කීහ”යි සාමණේර නම කී ය. “එසේ නම් උදයේ යාම අපහසු ය. දැන්ම එහි යමු”යි කියා තෙරුන් වහන්සේ පිටත් වූහ. ඒ දෙනම මිනිසුන් වෙසෙන තැනට සමීප තැනක සැතපුණහ.

ඒ සාමණේර නම පැවිදි වූ දින සිටම ආරණ්‍යක ධුතංගය රක්නේ ය. අරුණ නඟින තුරු ගමක විසුව හොත් ඒ ධුතංගය බිඳේ. එබැවින් ආරණ්‍යකයෝ ගමකට ගිය ද අරුණට පළමු ආරණ්‍යයට යෙති. සාමණේර නම තමාගේ ධුතංගය නො බිඳෙනු පිණිස රාත්‍රියේ නැඟිට වනයට ගියේ ය. විපත්තිකාලය පැමිණි විට මිනිසුන් කෙරෙන් ධර්මය ද බැහැර වෙයි. ඒ නිසා ඒ විපත්තිකාලයේ ඇතැම් මිනිසුන් මිනී මස් කෑහ. මහ තෙරුන් වහන්සේ රාත්‍රියේ සාමණේර නම නොදැක “ඒ නමත් මිනී කන මිනිසුන්ට අසුවන්නට ඇතැ”යි සිතා ගත්හ. පහන් වූ පසු සාමණේර නම ගුරුවරයාට පැන් හා දැහැටි ගෙන පැමිණියේ ය. එකල්හි තෙරණුවෝ “සාමණේරය, ඔබ කොහි ගියෙහිද? ඔබ නො විචාරා බැහැර ගොස් මහලු මහණුන්ට විතර්කයක් ඇති කෙළෙහි ය. ඒ වරදට දඬුවම් කරව”යි කීහ. “කරමි ස්වාමීනි”යි සාමණේර නම කීය. ඉක්බිති මුව සෝදා සිවුරු පොරවා මිනිසුන් වසන තැනට දෙනම ම ගියහ. මනුෂ්‍යයෝ ඔවුනට ඇතිසැටියට අල කොළ වලින් පිළියෙල කළ ආහාර පිරිනැමූහ. තෙරුන් වහන්සේ ඔවුන්ගෙන් ලත් ආහාරය වළඳා විහාරයට පැමිණියෝ ය. සාමණේර නම පැන් ගෙන “ස්වාමීනි, පා සෝදමි”යි කී ය. එකල්හි තෙරුන් වහන්සේ “සාමණේරය, ඔබ රාත්‍රියෙහි කොහි ගියෙහි ද? නො දන්වා බැහැර ගොස් අපට විතර්කයක් ඇති කෙළෙහිය”යි කීහ. සාමණේර නම ගිය කරුණ සැල කළේ ය. එකල්හි තෙරුන් වහන්සේ “ඔබ නොව මේ කාරණයෙහි දඬුවම් විඳීමට සුදුසු වන්නෝ අපම ය”යි කීහ.

එතැන් පටන් තෙරුන් වහන්සේ ඒ විහාරයේ ම විසූහ. “අප මහල්ලෝ ය, අපට කුමක් වේ දැයි නො දත හැකි ය. ඔබ තවම තරුණ බැවින් තමාගේ ජීවිතය රැක ගනුව”යි තෙරුන් වහන්සේ සාමණේර නමට කීහ. තෙරුන් වහන්සේ අනාගාමී කෙනෙකි. පසුකාලයේදී උන්වහන්සේ මිනී කන්නන්ට හසු වූහ. සාමණේර නම දිවි රැකගෙන සිට පසුකාලයේ උපසම්පදා වී ත්‍රිපිටකය උගෙන වත්තබ්බක නිග්‍රෝධ තෙරුන් වහන්සේය යන නමින් ප්‍රසිද්ධියට පැමිණියේ ය. රට සුඛිත වූ පසු බැහැර ගිය බොහෝ භික්ෂූහු උන්වහන්සේ වෙත පැමිණියෝ ය. උන්වහන්සේ මහා භික්ෂුසමූහයක් පිරිවරා අනුරාධපුරයේ මහා විහාරයට ගොස් බෝධිය හා මහසෑයත් ථූපාරාමයත් වැඳ නගරයට පිවිසියහ. නගරයේ දකුණු දොරටුවට යන තෙක් අතරමඟදී උන්වහන්සේට නවතැනකදී තුන්සිවුරු ලැබිණ. නගරයේදී බොහෝ සත්කාර ලැබිණ. විපත්තිකාලයේ කැලෑ කොළත් සෑහෙන පමණට ලබා දීමට නො සමත් වූ නිග්‍රෝධ තෙරුන් වහන්සේගේ කුශලකර්මය කාලසම්පත්තියේදී මෙසේ මහත් විපාක ගෙන දිණ.

අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි පයොගසම්පත්තිං ආගම්ම විපච්චන්ති.

ප්‍රයෝගසම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් කුශල කර්මයෝ ඇතහ. ඇතමකුට බොහෝ පින් ඇත ද ප්‍රායෝගසම්පත්තිය නැති කල්හි ඒවා විපාක දීමට අසමත් ව තිබී ප්‍රයෝගසම්පත්තිය ඇතිවූ විට විපාක දෙයි. ගුණදම් පිරීම ප්‍රයෝගසම්පත්තියය. ප්‍රයෝගසම්පත්තිය නිසා කුශලයන් විපාක දෙන බවට සාධක වශයෙන් විභඞ්ග අටුවාවෙහි දක්වා ඇති කථා මෙසේ ය.

කූටකර්ණ රජතුමා චූලසුධම්ම නම් තෙරනමකට පැහැදී සිටියේ ය. රජු උපුල්වැව වෙසෙනුයේ තෙරුන් වහන්සේ එහි කැඳවා ගත්තේ ය. තෙරුන් වහන්සේ මාලාරාම නම් විහාරයෙහි විසූහ. රජතුමා “තෙරුන් වහන්සේ කුමක් වළඳනු රිසි ඇත්තෝ දැ”යි උන් වහන්සේගේ මෑණියන්ගෙන් අසා අලවලට කැමති බව දැන අල ගෙන්වා ගෙන විහාරයට ගොස් තෙරුන් වහන්සේට පිළිගන්වනුයේ ගුණතේජස නිසා උන් වහන්සේගේ මුහුණ බැලීමට නො සමත් විය. විහාරයෙන් නික්ම මිදුලට බැස “තෙරුන් වහන්සේගේ සැටි කෙසේ දැ”යි දේවියගෙන් ඇසුවේය. “ඔබ පුරුෂයකුත් වී තෙරුන් වහන්සේගේ මුහුණ බැලීමට නො සමත් වී නම් ඉතිරියක වන මම උන්වහන්සේගේ මුහුණ බැලීමට කෙසේ සමත් වන්නෙම් ද? තෙරුන් වහන්සේගේ සැටි මම නො දනිමි”යි ඕ කීවාය. එයින් රජතුමා බුදුසස්නෙහි වඩාත් පැහැදී “මාගේ රටෙහි බදු ගෙවන ගෘහපතිපුත්‍රයකුගේ මුහුණ බැලීමට නො සමත් වෙමි. බුදුසස්න කොපමණ මහත් දැ”යි කියා අත්පොළසන් දිණ.

මේ රජතුමා ත්‍රිපිටකචූළනාග තෙරුන් වහන්සේට ද පැහැදී සිටියේ ය. තෙරුන් වහන්සේගේ ඇඟිල්ලක ගෙඩියක් සෑදිණ. රජතුමා තෙරුන් වහන්සේ දක්නට විහාරයට ගියේ බලවත් ප්‍රේමයෙන් තෙරුන් වහන්සේගේ ගෙඩිය තුබූ ඇඟිල්ල මුව තුළ තබා ගත්තේ ය. මුව තුළදී ගෙඩිය සිදුරු වී ලේ සැරව පිට විය. රජතුමා තෙරුන් වහන්සේ කෙරෙහි බලවත් ප්‍රේමයෙන් ඇඟිල්ල පිටතට නො ගෙන ලේ සැරව ගිල්ලේ ය.

පසුකල ඒ තෙරුන් වහන්සේ මරණමඤ්චකයේ සයනය කළහ. රජතුමා උපස්ථානයට ගොස් දහම් රියේ අකුර (අලවංගුව) බිඳේ ය යි කියමින් හඬ හඬා හිස මත තබා අසූචි බඳුන් බැහැර කෙළේය. උන් වහන්සේලාට රජුගෙන් මෙතරම් සැලකිලි ලැබුණේ ගුණ දම් පිරීම නැමති ප්‍රයෝග සම්පත්තිය නිසා ය. තවද “අහෝසි කම්මං අහෝසි කම්ම විපාකො” යනාදීන් පටිසම්පදාමග්ගයේ දැක්වෙන කර්මවිභාගය ද මෙතන්හි දැක්විය යුතුය. සර්වාකාරයෙන් ම කර්ම හා විපාකයන් තත්ත්වාකාරයෙන් දන්නාවූ ඥානය දෙවන තථාගත බලය ය.

3. තුන්වන තථාගත බලය

සර්වත්‍රගාමිනී ප්‍රතිපත් දන්නා නුවණ.

“පුන ච පරං සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.”

(මහාසීහනාද සුත්ත)

“තථාගතයන් වහන්සේ සත්ත්වයන් සුගති දුර්ගති භවවලට පැමිණෙන්නා වූ ද, අර්හත්ව ආදි තත්ත්වවලට පැමිණෙන්නාවූද පිළිවෙත් සර්වාකාරයෙන් දන්නා සේක. ඒ දැනීම තථාගතයන් වහන්සේගේ එක් තථාගත බලයෙකි. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකයේ උච්චස්ථානයට පැමිණ ඇත්තාහ. පිරිස්වල සිංහනාදය පවත්වන්නාහ. බ්‍රහ්මචක්‍රය පවත් වන්නාහ” යනු ඒ පාඨයේ තේරුම ය.

සසර සැරිසරනා සත්ත්වයන් ඒ ඒ සුගති දුර්ගති භවවලට පැමිණෙන්නේ ඔවුන් කළ කර්මයන් අනුව ය. එක් එක් කර්මයකින් ලැබෙන විපාකය සැමටම ඒකාකාරයකින් ම ලැබෙන්නේ නො වේ. ප්‍රාණඝාතාදි එක් එක් කර්මයකින් අනේකාකාර විපාක ලැබෙන්නේ ය. දානාදි එක් එක් කුශලකර්මයකින් ලැබෙන විපාක ද අනේකාකාර වන්නේ ය. ගමක මිනිසුන් එක් ව සැම දෙනාගේ ම ප්‍රයෝජනය පිණිස සතකු මැරූ කල්හි සැම දෙනාටම වෙනසක් නැති ව ප්‍රාණඝාත අකුශල කර්මය සිදු වේ. සෑම දෙනාට ම ප්‍රාණඝාත චේතනාව ඇතිවේ. ඔවුනට එක සතා මැරීමේ විපාකය ලැබෙන්නේ එක් එක් තැනැත්තාට වෙනස් වෙනස් ආකාරවලිනි. ඒ සතා මැරීමට එකෙක් තමාගේ ඕනෑකමින්ම ද අනිකෙක් අනුන් කතා කරන නිසා නො කැමෙත්තෙන් ද එයට සහභාගි වේ. අනිකෙක් කැමැත්තෙන් සහභාගි වේ. තවත් එකෙක් විනෝදය පිණිස එයට සහභාගි වේ. එයින් එකම සතා මැරීමේදී පාපකර්මය ඒ ඒ පුද්ගලයාට වෙනස් වෙනස්ව ඇතිවේ. එබැවින් එක්වී එක් සතකු මැරීමේ පාපයෙන් එයට සහභාගි වූවන් අතුරෙන් එකෙක් මහානරකයෙහි උපදී. එකෙක් කුඩානරකයක උපදී. එකෙක් ප්‍රේත ව උපදී. එකෙක් අසුරකායයෙහි උපදී. එකෙක් තිරිසන් අපායෙහි උපදි. තිරිසන් අපායෙහි උපදනා කල්හි ද එකෙක් බලු ව උපදී. එකෙක් කපුටු ව උපදී. එකෙක් බළල් ව උපදී. ගව ව උපදී. මෙසේ එක ම සතකු මැරීමේ පාපය අනේකාකාරයෙන් විපාක දෙන්නේ ය. තථාගතයන් වහන්සේ ඒ සියල්ල සර්වාකාරයෙන් දන්නා සේක. ගමක මිනිසුන් එකතුව දානයක් දුන් කල්හි සැමදෙනාටම ඇතිවුයේ දානය අරමුණ කරන කුශල චේතනාවකි. එහෙත් ඒ කර්මයෙන් ඇතමෙක් මිනිස් ලොව උසස් පවුල් වල උපදිති. ඇතමෙක් මධ්‍යම පවුල් වලත්, ඇතමෙක් පහත් පවුල්වලත් උපදිති. ඇතමෙක් චාතුර්මහාරාජිකයෙහි ද, ඇතමෙක් තාවතිංසයෙහි ද, ඇතමෙක් යාමයෙහි ද, ඇතමෙක් තුෂිතයෙහි ද, ඇතමෙක් නිර්මාණරතියෙහි ද, ඇතමෙක් පරනිර්මිත වශවර්තියෙහි ද උපදිති. ඒ සියල්ල තථාගතයන් වහන්සේ දන්නා සේක. කර්මවලින් ඇතමෙක් ප්‍රතිසන්ධි දානය කෙරෙති. ඇතමෙක් ප්‍රවෘත්තිවිපාක පමණක් දෙති. ඇතමෙක් කිසිවිපාකයක් නො දෙති. ඒ සියල්ල ද තථාගතයන් වහන්සේ දන්නා සේක.

ජනසමූහයක් විදර්ශනා වඩනා කල්හි ඔවුන් විදර්ශනා කරන සැටියෙන් මොහු මේ විදර්ශනා කිරීමෙන් අර්හත් ඵලයට පැමිණෙන්නේ ය. මොහු අනාගාමී ඵලයට පමණක් පැමිණෙන්නේ ය. මොහු සකෘදාගාමී ඵලයට පමණක් පැමිණෙන්නේ ය. මොහු සෝවාන් ඵලයට පමණක් පැමිණෙන්නේ ය. මොහු මාර්ගයකට ඵලයකට නො පැමිණෙන්නේ ය. මොහු ලක්ෂණාරම්මණ විදර්ශනාවෙන් නවතින්නේ ය. මොහු ප්‍රත්‍යය පරිග්‍රහණයෙන් නවතින්නේ ය. මොහු නාමරූපපරිග්‍රහණයෙන් නවතින්නේ ය. මොහු අරූප පරිග්‍රහණයෙන් නවතින්නේ ය. මොහු රූපපරිග්‍රහණයෙන් නවතින්නේ ය. මොහුට කිසි ඥානයක් ලැබිය නො හෙන්නේ ය යි තථාගතයන් වහන්සේ දන්නා සේක.

බොහෝ දෙනකුන් කිසුණු පිරියම් කරන කල්හි මොහු පරිකර්මභාවනා මාත්‍රයෙන් නවතින්නේ ය. නිමිත්ත නො ලබන්නේ ය. මොහු නිමිත්ත ලබන්නේය. එහෙත් අර්පණාව නූපදවන්නේ ය. මොහු ධ්‍යානය පාදක කොට විදසුන් වඩා අර්හත්වයට පැමිණෙන්නේ ය යි තථාගතයන් වහන්සේ දන්නා සේක. මෙසේ සත්ත්වයන් ඒ ඒ භවවලට හා අර්හත්වාදි තත්ත්වලට පැමිණෙන ප්‍රතිපත්ති තථාගතයන් වහන්සේ නිවරදි ලෙසට දන්නාහ. ඒ නුවණ සබ්බත්ථගාමිනීපටිපදාඤාණ නම් වූ තුන්වන තථාගත බලය ය.

4. සිවුවන තථාගත බලය.

අනේකධාතු නානාධාතු ලෝක දන්නා නුවණ.

“පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක ධාතු නානාධාතු ලොකං යාථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො අනෙකධාතු නානාධාතු ලොකං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති”.

අනේකධාතු නානාධාතු ලෝකය තත්ත්වාකාරයෙන් දන්නා ඤාණය එක් එක් තථාගත බලයක් බව මෙයින් දක්වන ලදී. සම්පූර්ණයෙන් නැති වන බැවින් ද මඳින් මඳ කොටස් වශයෙන් දිරී බිඳී පලුදු වන බැවින් ද ස්කන්ධධාත්වායතනයෝ ලෝක නම් වෙති. තමතමන්ගේ ස්වභාවයෙන් ඇත්තා වූ සියල්ල ධාතු නම් වෙති. රූපය පෙනෙන ස්භාවයෙන් ඇති බැවින් රූපධාතු නම් වේ. ශබ්දය ඇසෙන ස්භාවයෙන් ඇති බැවින් ශබ්දධාතු නම් වේ. ගන්ධය නාසයට දැනෙන ස්භාවයෙන් ඇති බැවින් ඝ්‍රාණධාතු නම් වේ. මෙසේ ඒ ඒ ස්වභාවයෙන් ඇති සියල්ල ම ධාතු නම් වේ. ලෝකයෙහි චක්ඛුධාතු සෝතධාතු යනාදි වශයෙන් ද කාමධාතු ව්‍යාපාදධාතු යනාදි වශයෙන්ද බොහෝ ධාතු ඇත්තේ ය. ලක්ෂණවලින් එක් ධාතුවක් අනික් ධාතුවකට වෙනස් බැවින් ධාතූහු අනේකප්‍රකාර වන්නාහ. බොහෝ ධාතු ඇති බැවින් ද ලක්ෂණ වශයෙන් අනේප්‍රකාර ධාතු ඇති බැවින් ද ලෝකය අනේකධාතු නානාධාතු ලෝක නම් වේ. අනේකධාතු නානාධාතු ලෝකය දන්නා නුවණ විස්තර කිරීමේදී පඤ්චස්කන්ධය, ආයතන දොළස, ධාතු අටළො ස යන මේ ධර්ම විස්තර කළ යුතුය.

මේ ඥානය ඇත්තා වූ තථාගතයන් වහන්සේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකය නිවැරදි ලෙස ද සර්වසම්පූර්ණ ලෙස ද දන්නාහ. එක් එක් ස්කන්ධයක අනේකප්‍රකාර විශේෂවිභාග ද නිවැරදි ලෙස සම්පූර්ණයෙන් දන්නා සේක. ආයතන දොළොස දන්නා සේක. දශායතනයක් කාමාවචර ය, ආයතන දෙකක් චාතුර්භූමක ය යනාදීන් ඒවායේ නානත්ව ද දන්නා සේක. මේ චක්ඛුධාතුවය මේ රූප ධාතුවය යනාදීන් වෙන් වෙන් වශයෙන් ධාතු අටළොස දන්නා සේක. එහි ධාතු සොළොසක් කාමාවචර ය, ධාතු දෙකක් චාතුර්භූමකය යනාදීන් ඒවායේ විශේෂ විභාග ද දන්නා සේක. තථාගතයන් වහන්සේ උපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය පමණක් නොව අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය පමණක් නොව අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානාත්වය ද දන්නා සේක.

පසේබුදුවරුන් හා අග්‍රශ්‍රාවකයෝ උපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය එක්තරා ප්‍රමාණයකින් දනිති. අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය නො දනිති. ලොවුතුරා බුදුවරු වනාහි මේ මේ ධාතූන්ගේ උත්සන්නත්වය නිසා මේ මේ ධාතූන්ගේ හීනත්වය නිසා මේ ගසෙහි කඳ සුදු ය, මේ ගසෙහි කඳ කළුය, මේ ගසෙහි කඳ මට්ටම්ය, මේ ගසෙහි කඳ රළුය, මේ ගසෙහි පොතු තුනී ය. මේ ගසෙහි පොතු ඝනය. මේ ගසෙහි මැද හරය ඇත. මේ ගසෙහි හරය ඇත්තේ පිටතට ය. මේ ගසෙහි කොළ වටය. මේ ගසෙහි කොළ දිග ය. මේ ගසෙහි කොළ මහත් ය. මේ ගසෙහි කොළ කුඩා ය, මේ ගසේ මල් සුදු ය, මේ ගසේ මල් රතුය, මේ ගසේ ගෙඩි මිහිරිය, මේ ගසේ ගෙඩි තිත්ත ය, මේ ගසේ ගෙඩි ඇඹුල්ය, මේ ගසේ ගෙඩි කසට ය, මේ ගසෙහි කටු ඇත, මේ ගසෙහි කටු නැත යනාදීන් අනුපාදින්නක සංස්කාර ලෝකයේ තතු සර්වාකාරයෙන් දන්නාහ. මෙය ශ්‍රාවකයනට අසාධාරණ ඥානයකි.

5. පස්වන තථාගත බලය

සත්ත්වයන්ගේ නානාධිමුක්තිකත්ව දන්නා නුවණ.

“පුන ච පරං සාරිපුත්ත තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.”

අධිමුක්ති යනු අදහස ය. එය සත්ත්වයන් තුළ පවත්නා, තෙරුම් ගැනීමට දුෂ්කර වූ අනුශය ධාතුවකි. සමහර විට ඒ ඒ පුද්ගලයෝම ද අනුශය වශයෙන් යටපත් වී පවත්නා තමන්ගේ අදහස් නො දනිති. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සෑම දෙනාගේ ම අදහස් නිවැරදි ලෙස දැනගනිති. ඒ අන්‍යයන්ගේ අදහස් දැනගන්නා වූ ඥානය පස්වන තථාගත බලය බව ඉහත දැක් වූ පාඨයෙන් දැක් වේ.

සත්ත්වයෝ නොයෙක් අදහස් ඇත්තෝය. සමහරු අනුන්ට දුක්දෙන අදහස් ඇත්තෝ ය, ඇතැම්හු සතුන් මරණ අදහස් ඇත්තෝ ය, ඇතැම්හු සොරකම් කරන අදහස් ඇත්තෝ ය, ඇතැම්හු අනුන් අයත් දෑ විනාශ කරන අනුන්ට අලාභ කරන අදහස් ඇත්තෝ ය. ඇතැම්හු අනුන්ගේ දියුණුව වළක්වන අදහස් ඇත්තෝ ය. ඇතැම්හු කාමයෙහි වරදවා හැසිරෙන අදහස් ඇත්තෝ ය. ඇතැම්හු අනුන්ගේ සැපයට බාධා කිරීමේ අදහස් ඇත්තෝ ය. ඇතැම්හු අනුන් රුවටීමේ අදහස් ඇත්තෝ ය. ඇතැම්හු සුරාපානය කිරීමේ අදහස් ඇත්තෝ ය. ඇතැම්හු අන්‍යයන් ඔවුනොවුන් හා බිඳවන අදහස් ඇත්තෝ ය. ඇතැම්හු තුමූම උසස්ය, සෙස්සෝ පහත් ය, ඔවුන් තමන්ට ගරු කළ යුතුය යන අදහස ඇත්තෝ ය. ඇතැම්හු මතු ඉපදීමක් නැත ය යන මිථ්‍යාධ්‍යාෂය ඇත්තෝ ය. ඇතැම්හු සත්ත්වයා ක්‍රමයෙන් උසස් වනු මිස පහත් තත්ත්වයකට පැමිණෙන්නේ නැතය යන මිථ්‍යා අදහස් ඇත්තෝය. ඇතැම්හු සුචරිතයෙන් මතු යහපතක් නැත ය යන අදහස් ඇත්තෝ ය. මේ ආදි අදහස් ලාමක අදහස් ය. ලාමක අදහස් ඇත්තෝ හීනාධිමුක්තික නම් වෙති.

නැතියන්ට දෙන අදහස, පිදිය යුත්තන්ට පුදන අදහස, පව්කම් නො කරන අදහස, මාපියන්ට ගුරුන්ට වැඩිමහල්ලන්ට ගරු කරන සලකන අදහස, බණ කියන අදහස, බණ අසන අදහස, දහම පිළිගන්නා අදහස, සිල් රකින අදහස, කාමයන්ගෙන් වෙන්වන අදහස, වැඩිහිටියන්ගේ අවවාදයට නැමෙන අදහස, භාවනා කරන අදහස යනාදි යහපත් අදහස් ඇත්තෝ ප්‍රණීතාධිමුක්තික නම් වෙති. කල්‍යාණාධිමුක්තික නමුදු වෙති. අධිමුක්ති අනුව පුද්ගලයන් සංසන්දනය වීම ඔවුනොවුන් එකතුවීම මිත්‍රවීම තථාගතයන් වහන්සේ දන්නාහ. එකතු වී සිටින දෙදෙනෙක් එකතු වී සිටින්නේ කිනම් කරුණකින්ද යන බව ඔවුහු නො දනිති. අධිමුක්ති අනුව ඔවුන් එකතු වී ඉන්නා බව තථාගතයන් වහන්සේ දන්නාහ. එසේ දන්නා බැවින්-

“සෙය්‍යථාපි භික්ඛවෙ, ගූථො ගූථෙන සංසන්දති සමෙති. මුත්තං මුත්තෙන සංසන්දති, සමෙති. ඛෙළො ඛෙළෙන සංසන්දති සමෙති, පුබ්බො පුබ්බෙන සංසන්දති සමෙති, ලොහිතං ලොහිතෙන සංසන්දති, සමෙති. එවමෙව ඛො භික්ඛවෙ, ධාතුසො සත්තා සංසන්දෙන්ති, සමෙන්ති. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දෙති සමෙන්ති, අතීතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසො’ව සත්තා සංසන්දිංසු, සමිංසු. අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසො’ව සත්තා සංසන්දිස්සන්ති, සමෙස්සන්ති, හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති, සමෙස්සන්ති. එතරහි’පි ඛො භික්ඛවෙ පච්චුප්පන්නං අද්ධානං ධාතුසො’ව සත්තා සංසන්දන්ති, සමෙන්ති. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති, සමෙන්ති.”

(ධාතුසංයුත්ත 249 )

යනුවෙන් “මහණෙනි, යම්සේ අසූචිය අසූචිය හා සංසන්දනය වේ ද සම වේ ද මුත්‍රය මුත්‍රය හා සංසන්දනය වේ ද සම වේ ද කෙළ කෙළ හා සංසන්දනය වේ ද සම වේ ද සැරව සැරව හා සංසන්දනය වේ ද සම වේ ද, ලේ ලේ හා සංසන්දනය වේ ද සම වේ ද මහණෙනි, එමෙන් ධාතූන්ගේ සැටියට ම සත්ත්වයෝ සංසන්දනය වෙති. සම වෙති. හීනාධිමුක්තිකයෝ හීනාධිමුක්තිකයන් හා සංසන්දනය වෙති. සම වෙති. මහණෙනි, අතීතකාලයෙහි ද ධාතුන් අනුව ම සත්ත්වයෝ සංසන්දනය වූහ. සම වූහ. හීනාධිමුක්තිකයෝ හීනාධීමුක්තිකයන් හා සංසන්දනය වූහ. සමවූහ. මහණෙනි, අනාගත කාලයෙහි ද ධාතූන් අනුවම සත්ත්වයෝ සංසන්දනය වන්නාහ. සම වන්නාහ. හීනාධිමුක්තිකයෝ හීනාධිමුක්තිකයන් හා සංසන්දනය වන්නාහ. සම වන්නාහ. මහණෙනි, මේ වර්තමාන කාලයෙහි ද ධාතූන් අනුව ම සත්ත්වයෝ සංසන්දනය වෙති. සමවෙති. හීනාධිමුක්තිකයෝ හීනාධිමුක්තිකයන් හා සංසන්දනය වෙති. සම වෙති”යි වදාළහ.

“සෙය්‍යථාපි භික්ඛවෙ, ඛීරං ඛිරෙන සංසන්දති සමෙති, තෙලං තෙලෙන සංසන්දති, සමෙති. සප්පි සප්පිනා සංසන්දති, සමෙති. මධු මධුනා සංසන්දති, සමෙති. ඵාණිතං ඵාණිතෙන සංසන්දති, සමෙති. එවමෙව ඛො භික්ඛවෙ, ධාතුසො’ව සත්තා සංසන්දන්ති, සමෙන්ති. කළ්‍යාණාධිමුත්තිකා කල්‍යාණාධිමුත්තිකෙහි සංසන්දන්ති, සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ අද්ධානං ධාතුසො’ව සත්තා සංසන්දිංසු, සමිංසු. කල්‍යාණාධිමුත්තිකා කල්‍යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු, සමිංසු. අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසො’ව සත්තා සංසන්දිස්සන්ති, සමෙස්සන්ති. කළ්‍යාණාධිමුත්තිකා කළ්‍යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති, සමෙස්සන්ති. එතරහි’පි ඛො භික්ඛවෙ පච්චුප්පන්නා අද්ධානං ධාතුසො’ව සංසන්දන්ති, සමෙන්ති. කල්‍යාණාධිමුත්තිකා කල්‍යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.”

(ධාතුසංයුත්ත 249)

යනුවෙන් “කිරි කිරි හා ද, තෙල් තෙල් හා ද, ගිතෙල් ගිතෙල් හා ද, මී මී හා ද, පැණි පැණි හා ද, සංසන්දනය වන්නාක් මෙන් ධාතූන් අනුව සත්ත්වයෝ ඔවුනොවුන් සංසන්දනය වන්නාහ. සම වන්නාහ. කල්‍යාණාධිමුක්තිකයෝ කල්‍යාණාධිමුක්තිකයන් හා සංසන්දනය වන්නාහ. සමවන්නාහ. අතීතයෙහි ද අනාගතයෙහි ද වර්තමානයෙහි ද සත්ත්වයෝ ධාතූන් අනුව ම සංසන්දනය වන්නාහ. සම වන්නාහ. කල්‍යාණාධිමුක්තිකයෝ කල්‍යාණාධිමුක්තිකයන් හා සංසන්දනය වන්නාහ. සම වන්නාහ.”යි වදාළ සේක.

ධාතූන් අනුව සත්ත්වයන් සංසන්දනය වීම ගැන තථාගතයන් වහන්සේ විසින් දක්වා ඇති සාධකයක් මෙසේය. එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන සේක. එසමයෙහි සැරියුත් මාහිමියෝ බොහෝ භික්ෂූන් සමග තථාගතයන් වහන්සේට නුදුරු තැනක සක්මන් කෙරෙති. මුගලන් මහ තෙරණුවෝ ද බොහෝ භික්ෂූන් හා භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැනක සක්මන් කරති. මහකසුප් තෙරණුවෝ ද, අනුරුදු තෙරණුවෝ ද, පුණ්ණ තෙරණුවෝ ද, උපාලි තෙරණුවෝ ද ආනන්ද තෙරණුවෝද, දෙව්දත් තෙරණුවෝ ද බොහෝ බොහෝ භික්ෂූන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැන්වල සක්මන් කෙරෙති.

තථාගතයන් වහන්සේ ඒ සක්මන් කරන භික්ෂූන් දෙස බලා වදාරා සමීපයෙහි සිටි භික්ෂූන් අමතා සැරියුත් මහතෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලු භික්ෂූහු මහාප්‍රාඥයෝය යි ද, මුගලන් මහතෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලු භික්ෂූහූ සෘද්ධි ඇත්තෝ යයි ද, මහ කසුප් තෙරුන් වහන්සේ සහ සක්මන් කරන සියලු භික්ෂූහු ධුතවාදීහු යයිද, අනුරුදු තෙරුන් වහන්සේ සහ සක්මන් කරන සියලු භික්ෂූහු දිවැස් ඇත්තෝ ය යි ද, පුණ්ණ තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලු භික්ෂූහු ධර්මකථීකයෝය යි ද, උපාලි තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලු භික්ෂූහු විනයධරයෝ යි ද, ආනන්ද තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලු භික්ෂූහු බහුශ්‍රැතයෝ ය යි ද, දෙව්දත් තෙරුන් හා සක්මන් කරන සියලු භික්ෂූහු පාපේච්ඡයෝය යි ද වදාරා, ධාතූන් අනුව සත්ත්වයන් සංසන්දනය වන බව හා හීනාධිමුක්තිකයන් හීනාධිමුක්තිකයන් හා සංසන්දනය වන බව ද, කල්‍යාණාධිමුක්තිකයන් කල්‍යාණාධිමුක්තිකයන් හා සංසන්දනය වන බව ද වදාළ සේක.

(ධාතුසංයුත්ත. 248)

සැරියුත් මහ තෙරුන් වහන්සේ මහාප්‍රාඥ බැවින් මහාප්‍රාඥයෝ උන් වහන්සේට එකතු වෙති. මුගලන් මහතෙරුන් වහන්සේ සෘද්ධිමත් බැවින් සෘද්ධි ඇත්තෝ උන් වහන්සේට එකතු වෙති. මහකසුප් තෙරුන් වහන්සේ ධුතවාදී බැවින් ධුතවාදීහු උන්වහන්සේට එකතු වෙති. සෙස්සන් ගේ එකතු වීම ද එසේ සමාන කම්වලින් ම විය. සමාන අදහස් ඇතියන් එකතුවන බවට සාධක වශයෙන් විභංග අටුවාවෙහි මේ කථාව දක්වා තිබේ.

ත්‍රිපිටක චූලාහය තෙරුන් වහන්සේ චෛත්‍ය වන්දනාව සඳහා භික්ෂූන් පන්සියයක් සමඟ වඩනා කල්හි මිනිසුන් එක් ගමකට වැඩම කරන ලෙස ආරාධනා කළෝය. උන්වහන්සේ පිරිස සමඟ එහි වැඩම කළහ. සමීප විහාරයෙහි භික්ෂූහු ද එහි වැඩම කළහ. චූලාභය තෙරුන් වහන්සේගේ පිරිසෙහි නො සරුප් පැවතුම් ඇති එක් භික්ෂුවක් විය. සමීප විහාරයේ ද එබඳු ම භික්ෂුවක් විය. ඒ දෙනම අතර කලින් කිසි හැඳිනීමක් සම්බන්ධකමක් නො තිබිණි. එහෙත් ඒ දෙනම ඔවුනොවුන් දුටු සැටියේ ම මිත්‍ර වී සිනාසෙමින් කථා කරමින් සිටියහ. තෙරුන් වහන්සේ ඔවුන් දැක “සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දැන ගෙන ම ධාතුසංයුත්තය වදාළහ”යි කීහ. මෙසේ සත්ත්වයන්ගේ අධිමුත්ති දැන තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයාට ගැලපෙන පරිදි දහම් දෙසන්නාහ. සෙස්සන්ට එසේ නො කළ හැකි ය.

6. සවන තථාගත බලය

සත්ත්වයන්ගේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් දියුණු වුණු නුවුණු බව දන්නා නුවණ.

“පුන ච පරං සාරිපුත්ත තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරෝපරියත්තං යථාභූතං පජානාති, යම්’පි සාරිපුත්ත තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.”

මෙයින් දැක්වෙන්නේ අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් මෝරා ඇති බව හා නැති බව දැනෙන්නා වූ ඉන්ද්‍රිය පරෝපරියත්තඤාණය එක් තථාගත බලයක් බව ය. ඉන්ද්‍රියන් මෝරා ඇති බව හෝ නැති බව හෝ ඒ ඒ සත්ත්වයෝ නො දනිති. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්ත්වයන් ගේ ඉන්ද්‍රිය තත්ත්වය සලකා බලා ඔවුනට සුදුසු පරිදි දහම් දෙසන සේක. එසේ දැන කරන ධර්ම දේශනය සර්වාකාරයෙන් සාර්ථක වේ. පුද්ගල තත්ත්වය නො දැන දහම් දෙසන්නවුන් ගේ දේශනා සාර්ථක වන්නේ කලාතුරකිනි. විභඞ්ගපාළියෙහි මේ ඥානය විස්තර කර ඇත්තේ:-

“ඉධ තථාගතො සත්තානං ආසයං පජානාති, අනුසයං පජානාති, චරිතං පජානාති, අධිමුත්තිං පජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්‍රියෙ මුදින්ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුචිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ පජානාති.”

යනුවෙනි “තථාගත තෙමේ සත්ත්වයන් ගේ ආශය දනිති, අනුශය දනිති, චරිත දනිති, අධිමුක්ති දනිති. නුවණැසෙහි මඳ රාගාදි රජස් ඇත්තා වූ ද, නුවණැසෙහි බොහෝ රාගාදි රජස් ඇත්තා වූ ද, තියුණු ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, නො තියුණු ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, යහපත් ආශයාදිය ඇත්තා වූ ද, නොමනා ආශයාදිය ඇත්තා වූ ද, ධර්මය තේරුම් කර දීම පහසු වූ ද, ධර්මය තේරුම කර දීම අපහසු වූ ද, මඟපල ලැබීමට භව්‍ය වූ ද, මඟපල ලැබීමට අභව්‍ය වූ ද සත්ත්වයන් දනිති”ය යනු එහි තේරුම ය. අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ආශයාදිය දන්නා නුවණ ඉන්ද්‍රියපරෝපරියත්තඤාණය බව එයින් දක්වන ලදී.

ආශය යනු වාසය කරන ස්ථානය ය. යමෙක් යම්කිසි කරුණක් මෙය මෙසේමය යි තදින් පිළිගෙන එය ම මූලකාරණය කරගෙන එහි පිහිටා කටයුතු කෙරේ නම්, ඒ කරුණත් වාසස්ථානයකට සමාන වන බැවින් එයට ද ආශයයි කියනු ලැබේ. ‘සත්තානං ආසයං පජානාති’මෙහි ආශය නමින් කියැවෙන්නේ එබඳු කරුණු ය. මිථ්‍යාදෘෂ්ටිය හා යථාභූතඥාන නම් වූ සම්‍යක්දෘෂ්ටිය එබඳු කරුණු දෙකකි. මෙහි ආශය නමින් කියනුයේ ඒ ධර්ම දෙකය.

ලෝකයෙහි ඇතමෙක් ආත්මය නිත්‍ය දෙයකැයි ගනිති. ඇතැමෙක් ආත්මය ශරීරය සමඟම නැසෙන අනිත්‍ය දෙයකැ යි ගනිති. ඇතමෙක් ආත්මය පර්‍ය්‍යන්තයක් නැති විශාල දෙයකැ යි ගනිති. ඇතෙමෙක් පර්‍ය්‍යන්ත පරිච්ඡේදය ඇතියකැයි ගනිති. ඇතැමෙක් ශරීරය ආත්මය යන දෙක ම එකකැ යි ගනිති. ඇතමෙක් ශරීරය ආත්මය යන දෙක දෙකකැ යි ගනිති. ඇතමෙක් මරණින් පසු ද ආත්මය නිරෝගීව ඇතැය යි ගනිති. ඇතැමෙක් මරණින් පසු ආත්මයක් ඉතිරි නො වෙතැයි ගනිති. ඇතමෙක් මරණින් මතු ඇතැමුන්ගේ ආත්ම ඇත. ඇතැමුන්ගේ ආත්ම නැතය යි ගනිති. ඇතැමෙක් මරණින් මතු ආත්මයක් ඇත්තේ ද නො වේ. නැත්තේ ද නො වේ යයි ගනිති. මරණින් මතු ආත්මය ඇත ය යි ගැනීම ශාශ්වත දෘෂ්ටි නම් වේ. ආත්මය මරණින් සිඳේය නැතිවේ ය කියා ගැනීම උච්ඡේද දෘෂ්ටි නම් වේ. ශාශ්වත දෘෂ්ටිය ගතුවන් තමන්ගේ වැඩ කරන්නේ ශාශ්වත දෘෂ්ටිය මුල් කර ගෙන ය. උච්ඡේද දෘෂ්ටිය ගතුවන් තමන්ගේ වැඩ කරන්නේ උච්ඡේද දෘෂ්ටිය මුල් කර ගෙන ය. එබැවින් ඒ දෘෂ්ටි දෙක ඔවුනට වාසස්ථානයක් බඳු වන බැවින් ආශය නම් වේ.

ලෝකයෙහි ඇතමෙක් සත්පුරුෂාශ්‍රය ලැබ සද්ධර්මශ්‍රවණය කොට ශාශ්වතෝච්ඡේද සංඛ්‍යාත දෘෂ්ටි දෙකට නො බැස අවිද්‍යාදි හේතූන්ගේ හා සංස්කාරාදි ඵලයන්ගේ වශයෙන් සංසාර ප්‍රවෘත්තිය දක්නා වූ අනුලෝමිකක්ෂාන්තිය යි කියනු ලබන විදර්ශනා ඥානය ලැබ ඒ විදර්ශනා ඥානය අනුව එහි පිහිටා ක්‍රියා කෙරෙති. ඇතමෙක් යථාභූතඥාන නම් වූ මාර්ගඥානය ලැබ එහි පිහිටා එයට අනුව ක්‍රියා කෙරෙති. එබැවින් විදර්ශනාඥානය හා මාර්ගඥානය ද ආශය නම් වේ. ශාශ්වතෝච්ඡේද දෘෂ්ටි දෙක ලාමක සත්ත්වයන්ගේ ආශය ය. අනුලෝමිකක්ෂාන්තිය හා මාර්ගඥානය ශුද්ධ සත්ත්වයන්ගේ ආශය ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්ත්වයන්ගේ ආශය දැන ඔවුනට සුදුසු පරිදි දහම් දෙසන සේක.

ශාශ්වතදෘෂ්ට්‍යාදිය ආශය කොට ඇත්තා වූ පුද්ගලයන් තුළ ඒ දෘෂ්ට්‍යාදිය නිරතුරු ව පවත්නේ නොවේ. පුද්ගලයා අන් සිතකින් අන්‍යක්‍රියාවක යෙදී ඉන්නා අවස්ථාවෙහිදී ද තථාගතයන් වහන්සේ ඒ ඒ පුද්ගලයා ගේ ආශය දන්නා හ. එබැවින් තමන් වහන්සේ වෙත පැමිණෙන කා හටත් ඔවුන්ගේ ආශය බලා සුදුසු සේ දහම් දෙසීම තථාගතයන් වහන්සේට කළ හැකිය. ධනය රැස්කර ගෙන අඹුදරුවන් ඇති කරගෙන පස්කම් සැප විඳිමින් එහි ඇලී ගැළී සිටින ඇතැම්හු නෛෂ්ක්‍රම්‍යගරුකයෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය ඇත්තෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය යනු කාමයන් හැර දැමීමේ අදහස ය. තථාගතයන් වහන්සේ එ බව දනිති. ඒ බව දැන ඔවුනට සුදුසු ධර්මයක් දේශනය කළ කල්හි ඔවුන් කෙරෙහි යටපත් වී ඇති නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය මතු වී අවුත් මඟපල ලබති. ඇතැමෙක් පැවිදි වෙති.

තථාගතයන් වහන්සේ බුදු වූ අලුත ලෝකයෙහි රහතුන් සැටඑක් නමක් ඇති වූ පසු ඒ රහතුන් ලෝකයෙහි ධර්මය පැතිරවීම සඳහා පිටත් කර යවා උරුවෙල් දනව්වට වැඩම කරන සේක්, අතරමග එක් වනයකට පිවිස ගසක් මුල වැඩහුන් සේක. එදින භද්‍රවර්ගික නම් කුමාරවරු තිස් දෙනෙක් ද කම් සැපයෙන් විනෝදය ලබනු රිසියෙන් ස්ත්‍රීන් ද කැඳවා ගෙන ඒ වනයට පැමිණ සිටියෝ ය. බිරියක් නැති කුමරකු විසින් එදා කැඳවාගෙන ආ ගණිකාවක් ඔවුන්ගේ බඩු ද ගෙන පලා ගියා ය. කුමාරයෝ ඇය සොයමින් වනයෙහි ඇවිදිනාහු තථාගතයන් වහන්සේ දැක උන්වහන්සේ වෙත ගොස් “ස්වාමීනි, ස්ත්‍රියක් දුටුසේක් දැ”යි විචාළහ. “කුමාරවරුනි, තෙපි කුමට ස්ත්‍රියක් සොයන්නහුදැ”යි තථාගතයන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, අපගේ එක් යහළුවෙක් ඔහුට බිරියක් නැති බැවින් ගණිකාවක් කැඳවා ගෙන ආවේ ය. ඕ අපගේ ප්‍රමාදයක් බලා බඩුත් ගෙන පළා ගියා ය. අප යහළුවාට උපකාර පිණිස ඇය සොයමින් ඇවිදින්නෙමු”යි ඔවුහු කීහ. එකල්හි තථාගතයන් වහන්සේ “කුමාරවරුනි, තොපට ගැහැනියක සොයමින් ඇවිදිනවාට වඩා තමන් ගැන සෙවීම නරකදැ”යි වදාළහ. “ස්වාමීනි, අපට තමන් ගැන සෙවීම නම් වඩා හොඳය”යි ඔවුහු කී හ. “එසේ නම් කුමාරවරුනි, හිඳිගනිව් තොපට දහම් දෙසමි”යි තථාගතයන් වහන්සේ වදාළහ. ඔවුහු තථාගතයන් වහන්සේ වැඳ දහම් අසනු පිණිස හිඳගත්තෝ ය. අන් ධර්මධරයෙක් නම් කාමයෙන් මත්ව මෙසේ වනයෙහි සල්ලාල කමින් ඇවිදිමින් සිටින ඒ පිරිසට කාමයෙන් ඈත්ව වෙසෙන උදාර අදහස් ඇතියන්ට ම සුදුසු වන කෙලෙසුන්ට විරුද්ධ වන මේ ධර්මය දේශනය නො කරන්නේ ය. ඔවුන් විසින් දහම් දෙසන්නට ආරාධනා කළ ද ඔවුහු දහම් දෙසීමට සුදුසු පිරිසක් නො වෙති යි’ සිතා දහම් නො දෙසන්නාහ. තථාගතයන් වහන්සේට ඔවුන් තුළ ඇති නෛෂ්ක්‍රම්‍ය ගරුකත්වය නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය පෙනෙන බැවින් ඔවුනට දහම් දෙසූ සේක, දහම් ඇසුවා වූ ඔවුනට ඒ ධර්මය අවබෝධ වී සෝවාන් මාර්ගඥානසංඛ්‍යාත ධර්මචක්ෂුස පහළ වී සැම දෙනම තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්හ.

(මහාවග්ග පාළි)

පැවිදිව සිටියද නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය නැති කාමය ම ගරු කරන කාමාධ්‍යාශය ඇති පුද්ගලයෝ පැවිද්දන් අතර ද ඇත්තාහ. තථාගතයන් වහන්සේ ඔවුන් හඳුනාගන්නාහ. රූපනන්දා භික්ෂුණිය එබඳු තැනැත්තියකි. ඇය පැවිදිවූයේ ඥාතීන් පැවිදි වූ නිසා ය. ඕ “මාගේ වැඩිමහලු සහෝදරයා පැවිදි ව ලොවුතුරා බුදු විය. ඔහුගේ පුත් රහල් කුමරු පැවිදි විය. මාගේ සැමියා ද පැවිදි විය. මව ද පැවිදි විය. මෙතෙක් දෙනා පැවිදි වූ කල්හි මට ගෙයි රැදී සිටීමෙන් පලක් නැතය” සිතා භික්ෂුණී ආශ්‍රමයකට ගොස් පැවිදි වූවා ය. රූප ගරුක වූ ඕ “තථාගතයන් වහන්සේ රූපය අනිත්‍යය, දුකය, අනාත්මය යි දහම් දෙසති”යි භික්ෂුණීන්ගෙන් අසා “තථාගතයන් වහන්සේ ඉදිරියට ගිය හොත් මෙතරම් ශෝභන වූ මාගේ රූපයෙහි දොස් දක්වන්නාහ”යි බුදුන් දක්නට ද නො යන්නී ය. තථාගතයන් වහන්සේ වෙත දහම් ඇසීමට යන්නෝ පැහැදී නොයෙක් අයුරින් බුදුගුණ වර්ණනා කරති. රූපනන්දා භික්ෂුණිය භික්ෂුණීන් විසින් හා උපාසිකාවන් විසින් කියන බුදු ගුණ අසා “මොවුහු මාගේ සහෝදරයාගේ ගුණ බොහෝ කියන්නාහ. බුදුන් වහන්සේ රූපයේ දොස් කියතත් එක් දිනයකදීම එතරම් රාශියක් නො කියනු ඇත. මම ද උන්වහන්සේට නො දැනෙන ලෙස භික්ෂුණීන්ගේ මුවාවෙන් ගොස් එක් දිනක් උන්වහන්සේ දැක දහම් අසා එමි”යි සිතා “මම ද අද දහම් ඇසීමට එමි”යි භික්ෂුණීන්ට කීවා ය.

සත්ත්වයන්ගේ ශරීර පමණක් නොව සිත් ද පෙනෙන ආශය - අධිමුක්ති පෙනෙන තථාගතයන් වහන්සේට නො දැනෙන්නට නො පෙන්නට කිසිවකුට උන්වහන්සේ වෙත නො යා හැකිය. රූපනන්දා සිතනු සමඟ තථාගතයන් වහන්සේ ඇය තමන්වහන්සේ වෙත පැමිණෙන බව දැන ගත් සේක. උන්වහන්සේ ඇයට කිනම් ධර්මයක් සුදුසු වේ දැයි සිතන්නාහු කටුවකින් කටුවක් ඉවත් කරන්නාක් මෙන් රූපගරුක වූ ඇගේ රූපතණ්හාව හා රූපමදය රූපයකින්ම දුරු කිරීම සුදුසු බව දැන වදාරා ඇය පැමිණෙන කල්හි ඇගේ රූපයට වඩා සිය ගුණයෙන් ශෝභන වූ රූපය ඇති සර්වාලංකාරයෙන් සැරසුණු තරුණ කතක රුවක් උන්වහන්සේට පවන් සලමින් ඉන්නා ආකාරයෙන් නිර්මාණය කර තැබූහ. ඒ රුව පෙනෙන්නේ තථාගතයන් වහන්සේට හා රූපනන්දා භික්ෂුණියට පමණෙකි. රූපනන්දා තථාගතයන් වහන්සේ වෙත ගොස් වැඳ උන්වහන්සේ සමීපයේ වූ ඉතිරි රුව දැක, ‘මේ කත සමීපයේදී මගේ රුව හංසියක ඉදිරියේ කැවිඩි රුවක් වැනිය’යි තමාගේ රූපය තොමෝ ම පහත් කොට සිතුවා ය. ඇගේ රූප මදය බොහෝ දුරට සන්සිඳී ගියේ ය. ඇගේ සිත ඒ රූපයට ඇදී ගියේය. ඕ ඒ රූපයේ අවයව සියල්ල එකිනෙක බලමින් ඒවායේ ලස්සන සිතුවා ය. තථාගතයන් වහන්සේ රූපනන්දා භික්ෂුණියගේ සිත නිර්මිත රූපයට ඇදී ඇති බව දැක දහම් දෙසමින් ම ඒ රූපය මඳින් මඳ වෙනස් කළහ. මුලින් සොළොස් අවුරුදු වයසේ සිටින්නියක බඳු ඒ රූපය විසි අවුරුදු වයසෙහි සිටින රුවක් කළහ. ඉක්බිති දරුවකු ලැබූ ඉතිරියක් බවට ද, මැදිවියේ සිටින රුවක් බවට ද, කෙස් පැසුණු ඇඟ රැළි වැටුණු දත් සැලුණු - කුදු ගැසුණු - සැරමිටියක් ගත් ඉතිරි රුවක් බවටද පත් කොට දැක්වූහ. ඒ වෙනස් වීම දැකීමෙන් ඇගේ රූපරාගය දුරු වී ගියේ ය. ඉක්බිති ඒ රූපය රෝගාතුර කොට දැක්වූහ. එකෙණෙහි ඒ රුව බිම ඇද වැටී මහහඬින් කෙඳිරිගාමින් මලමුත්‍ර ගොඩේ ඒ මේ අත පෙරළෙන්නට විය. රූපනන්දා රූපය කෙරෙහි අතිශයින් ම කලකිරිණ. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ රුව මළසිරුරක් කොට දැක්වූහ. එකෙණෙහි ම එය ඉදිමී එහි නවදොරින් ලේ සැරව හා පණු කැදලි වැගිරෙන්නට විය. බලු කපුටු ආදීහු පැමිණ මළ සිරුර කන්නට වූහ. රූපනන්දා භික්ෂුණිය සියල්ල බලා සිට, “මේ ස්ත්‍රිය මෙතැන්හි ම ජරපත් වූවා ය. රෝගාතුර වූවා ය. මරණයට පත් වූවා ය. මාගේ මේ ශරීරයටත් එසේ ම ජරා - ව්‍යාධි - මරණ පැමිණෙන්නේ ය”යි ආත්මභාවයේ අනිත්‍යතාව දුටුවා ය. ඇයට භවත්‍රය ගිනිගත් ගෙවල් සේ පෙනිණ. කරේ එල්ලූ කුණපයක් සේ පෙනිණ. ඇගේ සිත කර්මස්ථානාභිමුඛ විය. තථාගතයන් වහන්සේ ඇයට උපකාර වීම පිණිස:

“ආතුරං අසූචිං පූතිං - පස්ස නන්දෙ සමුස්සයං,
උග්ඝරන්තං පග්ඝරන්තං - බාලානං අභිපත්තිතං,
යථා ඉදං තථා එතං - යථා එතං තථා ඉදං
ධාතුසො පුඤ්ඤතො පස්ස - මා ලොකං පුනරාගාමි,
භවෙ ඡන්දං විරාජෙත්වා - උපසන්තො චරිස්සසි.”

යන ගාථා වදාළ සේක ඒ දේශනාව අනුව සිත යවා භික්ෂුණිය සෝවාන් ඵලයට පැමිණියා ය. ඉක්බිති තථාගයන් වහන්සේ මතු මාර්ගත්‍රය සඳහා විදර්ශනාව පිණිස,

“අට්ඨීනං නගරං කතං - මංසලොහිතලෙපනං
යත්ථ ජරා ච මච්චූ ච - මානො මක්ඛො ච ඔහිතො.”

යන ගාථාව වදාළ සේක. එය අසා රූපනන්දා භික්ෂුණිය ඉතිරි මඟපලවලට පිළිවෙළින් පැමිණ සව්කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියා ය.

(ධම්මපදට්ඨ කථා)

නපුරුකම් කරමින් සිටින්නා වූ ඇතැම්හු අව්‍යාපාද ගරුකයෝ ය. කරුණාධ්‍යාශය ඇත්තෝ ය. ඔවුන් නපුරුකම් කරමින් සිටියදී ම තථාගතයන් වහන්සේ ඒ බව දන්නාහ. අංගුලිමාල මිනීමරමින් සිටියදී ම තථාගතයන් වහන්සේ ඔහු වෙත ගොස් ඔහුට දහම් දෙසුවේ උන්වහන්සේට ඔහුගේ අව්‍යාපාද ගරුකත්වය පෙනුණු නිසා ය. අනුන්ට බොහෝ උපකාර කරමින් ඉන්නා වූ ද ඇතැම්හු ව්‍යාපාද ගරුකයෝ ය. නපුරෝ ය. ඔවුන් අනුන්ට යහපත කරමින් ඉන්නා විටම තථාගතයන් වහන්සේ ඔවුන්ගේ ව්‍යාපාද ගරුක භාවය දැන ගන්නාහ. ශාන්තව සිටිය ද කිපෙන ස්වභාවය ඇති බවට වේදේහිකාගේ කථාව නිදසුනෙකි.

සැවැත් නුවර වේදේහිකා නම් ගැහැනියක් වූවා ය. ඇයට කටයුත්තෙහි දක්ෂ අනලස කාළි නම් දාසියක් වූවා ය. “වේදේහිකා අන් ගැහැනුන් සේ කුරිරු නැත. උඩඟු නැත. වේදේහිකා බොහොම හොඳය” කියා ඇගේ ගුණ බොහෝ දෙනා කියන්නට වූහ. ඇගේ කීර්ති රාවය අසා කාළි සිතන්නී “වේදේහිකාගේ ගුණ බොහෝ දෙනා කියන්නාහ. ඇය මෙසේ ශාන්තව සිටින්නේ මා විසින් හොඳට වැඩ කරන නිසා ද, නැතහොත් ඇගේ ගුණවත්කම නිසා දැ යි විමසිය යුතුය”යි සිතා එක් දිනක් දවල් වන තුරු නිදා ගත්තා ය. එදින වේදේහිකා නො සතුටු ව “බොල කාළියේ, මෙ පමණ දවල් වන තෙක් නිදා ගත්තේ තිට කුමක් වෙලා දැ යි?” ඇසුවා ය. “මොකොවත් වෙලා නැතැ”යි කාළී කීවා ය. “මේ පව්කාර දාසී කිසි කරුණක් නැතිව දවල් වන තුරු නිදාගත්තී ය”යි වේදේහිකා කිපී රවා බැලුවා ය.

“මාගේ ආර්‍ය්‍යාවට කෝපය නැත්තේ නො වේ. මා හොඳට වැඩ කරන නිසා ඕ ඇත්තා වූ කෝපය පිට නොකරන්නී ය”යි කාළී සිතා ගත්තා ය. ඕ තොමෝ තවත් ඒ ගැන විමසන්නට සිතා පසු පසු දින තවත් දවල් වන තුරු නිදා ගත්තා ය. වේදේහිකා “තී මෙපමණ දවල් වන තුරු නිදා ගත්තේ තිට කුමක් වෙලා දැ”යි ඇසුවා ය. “කිසිවක් වී නැත, ආර්‍ය්‍යාවෙනි”යි කාළී කීවා ය. එදා වේදේහිකා කිපී කාළීට සැර කළා ය.

වේදේහිකා ගේ කෝපය ගැන තවත් විමසුනු පිණිස කාළී තුන්වන දිනයේ තවත් දවල් වී නැගිට්ටාය. එදින වේදේහිකා “කුමට මෙපමණ දවල් වන තෙක් නිදන්නී දැ”යි කාළීගෙන් අසා “කිසි කරුණක් නැත”ය යි කී කල්හි හොඳට ම කිපී දොරට දමන පොල්ල ගෙන කාළීට ගසා ඇගේ හිස පැලුවා ය.

කාළී හිසෙන් ලේ ගලමින් තිබියදී ම සමීප ගෙවලට ගොස් “නුඹලා හොඳය කියන වේදේහිකාගේ සැටි බලන්න. ඕ තොමෝ දවල් වී නැගිට්ටාය කියා එක දාසියක් ඇති ගෙදර වැඩ සියල්ල ම තනිව කර ගෙන සිටින මට පොල්ලකින් ගසා මාගේ ඔලුව පැලුවා ය”යි කීවා ය. වේදේහිකාගේ කීර්තිය එයින් කෙළවර විය. වේදේහිකා වැනි අයගේ කෝප වන ස්වභාවය ඔවුන් ශාන්තව සිටින විට ම තථාගතයන් වහන්සේ දන්නාහ.

(කකචූපම සුත්ත)

අනුශය යනු අප්‍රහීන භාවයෙන් සත්ත්වසන්නාතයෙහි පවත්නා කාමරාගාදීහු ය. කාමරාගානුශය, භවරාගානුශය, ප්‍රතිඝානුශය, මානානුශය, දෘෂ්ට්‍යානුශය, විචිකිත්සානුශය, අවිද්‍යානුශය යි අනුශය නාමයෙන් දැක්වෙන ධර්මයෝ සත්දෙනෙකි.

ලෝකෝත්තර මාර්ගඥානය උපදවා එහි බලයෙන් කාමරාගාදිය ප්‍රහාණය නො කළ සහමුලින් නො නැසූ පුද්ගලයන්හට කාමරාගය ඇති වීමට හේතු වන සුන්දර රූපයක් මුණගැසුණු විටදී කාමරාගය උපදී. මාර්ගයෙන් කාමරාගය ප්‍රහාණය කළ අනාගාමීන්ට හා රහතුන්ට කොතරම් ශෝභන රූපයක් මුණ ගැසුණ ද කාමරාගය නූපදී. රාගයට හේතු වන ආරම්මණ ලද පෘථග්ජනයාට කාමරාගය ඇති වන්නේත් අනාගාමීන්ට රහතුන්ට එය ඇති නො වන්නේත් කිනම් කරුණකින් දැ යි විමසිය යුතු ය. ඉෂ්ටාරම්මණය මුණගැසීමේදී පෘථග්ජනයාට කාමරාගය ඇති වන්නේ ඔහු තුළ ඒ කාමරාගය එක්තරා සියුම් ආකාරයකින් තිබුණු බැවිනි. අනාගාමීන්ට හා රහතුන්ට ඇති නො වන්නේ ඔවුන් තුළ එසේ පවත්නා කාමරාගයක් නැති නිසා ය. ඉෂ්ටාරම්මණය මුණ ගැසුණු විට පෘථග්ජනයාට කාමරාගය නැඟී එන නිසා ඔහු තුළ කාමරාගය ඇති වන බව කියනු මිස ඔහු තුළ අසවල් තැන අසවල් ආකාරයෙන් ඒ කාමරාගය රැඳී ඇතය කියා දැක්විය හැකි ආකාරයකින් ඒ කාමරාගය නැත. නො දැක්විය හැකි ආකාරයෙන් අන්‍යයන්ට තබා, ඇති පුද්ගලයාට ද, ඇති බව නො දැනෙන්නා වූ ආකාරයෙන් පවත්නා ක්‍රියාකාරිත්වයක් නැති ක්ලේශයන් නිදාසිටින්නවුන් වැනි නිසා ඒවාට අනුශය යි කියනු ලැබේ. කරුණක් ලැබ උපන් කල්හි ද ඒවාට ඒ නමම කියනු ලැබේ. අනුශයිත ක්ලේශය ඉතා සියුම් ය. ඒවා සත්ත්වසන්තානයෙහි නිරතුරු ව ම ඇත්තේ ය. එහෙත් කුශලයට ඒවායින් බාධාවක් නැත. දන් දෙන තැනැත්තා කෙරෙහි දන් දෙන වේලාවේදී ඒවා ඇත. භාවනා කරන තැනැත්තාට භාවනා කරන වේලාවෙහි ද ඒවා ඇත. ධ්‍යාන ලබා ධ්‍යානයට සමවැදී ඉන්නා තැනැත්තා කෙරෙහි ද ඒවා ඇත. සෝවාන් සකෘදාගාමී අනාගාමී පුද්ගලයන් කෙරෙහි ද ඇතැම් අනුශය ධර්ම ඇත. ඒවා නැත්තේ රහතුන් කෙරෙහි පමණෙකි.

ඇතැමෙන් කෙරෙහි අනුශයිත කෙලෙස් වර්ෂ බොහෝ ගණන්, වරකුදු නැඟ එන්නේ නැති ව අනුශයිතාකාරයෙන් ම පවතී. ඇතය කියා සැලකීමට කිසිම ලකුණක් නැති ඒ කෙලෙස් තමා තුළ ඇති බව ඒ පුද්ගලයෝ ද නො දනිති. එහෙත් තථාගතයන් වහන්සේ ඒවා දනිති. සත්පුරුෂයන් සේවනය කරන, ධර්මය සේවනය කරන, නුවණ ඇති අයට අනුශයිත කෙලෙසුන් නැඟී එනවා අඩු ය. අපට ලෝභය නැත, රාගය නැත, ක්‍රෝධය නැත, අප පව් කරන්නේ නැත කියා ඒ කෙලෙස් නැඟී සිටීමේ අඩුකම නිසා ඇතැම්හු තමන් ගැන රැවටෙති. සමහර විට කාලාන්තරයක් නො නැඟිට සිටි ක්ලේශය නිතර නැඟී එන ක්ලේශයට වඩා නපුරු අන්දමින් නැඟී එන්නේ ය. එයට සාධක බොහෝ දැක්විය හැකි ය.

එක් කලෙක අප මහබෝසතාණෝ ධ්‍යාන උපදවා කාමරාගය යටපත් කර ගෙන සිට බඹලොව ඉපිද එහි ද බොහෝ කලක් කාමරාගය යටපත් කරගෙන සිට එයින් චුත ව මිනිස්ලොව රජ ගෙදරක උපන්හ. දීර්ඝ කාලයක සිට කාමරාගය යටපත් කරගෙන සිටින කුමරා ස්ත්‍රීන් දැකීමට පවා කැමති නො වීය. ඔහු ස්ත්‍රීන් අත නො සිටින්නේ ය. ස්ත්‍රීයක් අතට ගත හොත් කුමාරයා හඬන්නට වන්නේ ය. ඔහුට කිරි පෙවීම සඳහා කිරි මව්වරුන්ට පිරිමි වෙස් ගන්වන්නට සිදු විය. ඔහු වැඩිවිය පැමිණ පසු ද විවේකාගාරයකට වී ධ්‍යානයෙන් වාසය කළේ ය. එසේ සම්පූර්ණයෙන් ස්ත්‍රීන්ගෙන් ඈත් වී සිටින කුමාරයාගේ අනුශයිත කාමරාගය රජුගේ මෙහෙයීමෙන් තරුණ නාටිකාවක් විසින් ප්‍රබෝධ කරනු ලැබී ය. ඔහුට කාමරාගය කොතරම් බලවත් ලෙස නැඟී සිටියේ ද කියත හොත් කාමරාගයෙන් අන්ධ වී “මේ කාමරසය මා විසින් පමණක් විඳිය යුතුය, සෙස්සන්ට මේ රසය ලැබීමට ඉඩ නො දිය යුතුය”යි ඔහු පුරුෂයන් මරන්නට පටන් ගත්තේ ය. එයින් පිය රජුට ඔහු රටෙන් පිටුවහල් කරන්නට සිදු විය. විස්තර ජාතක පොතෙන් දත හැකි ය. මහාපලෝභන ජාතකය යන නමින් මේ කථාව ජාතක පොතේ දක්වා තිබේ.

චරිතය යනුවෙන් මෙහි දැක්වෙන්නේ ඒ ඒ පුද්ගලයන් විසින් අතීතයෙහි කර ඇති පින්පව් දෙක ය. “කතමඤ්ච සත්තානං චරිතං? පුඤ්ඤාභිසංඛාරො, අපුඤ්ඤාභිසංඛාරො, ආනෙඤ්ජාභිසංඛාරෝ පරිත්තභූමකො වා මහාභූමකො වා ඉදං සත්තානං චරිතං” යනුවෙන් ඒ බව විභංගපාළියෙහි දක්වා ඇත්තේ ය. අතීතයෙහි කළ පින්පව් දෙකොටස ම සකල සත්ත්වයනටම ඇත්තේ ය. සිටු වීමට රජ වීමට රහත් වීමට තරම් අතීතයෙහි කළ පින් ඇත්තා වූ අය සමහර විට කිසි පිනක් නැතියවුන් සේ ඉතා පහත් අන්දමින් ජීවත් වෙති. බුදුරදුන් ජීවමාන කාලයේ රජගහනුවර විසූ සුනීත නම් සැඩොලා එබඳු කෙනෙකි

සුනීතගේ කථාව,

පෙර බුදුවරුන්ගේ සසුන්වල නිවන් පතා නොයෙක් පින්කම් කළ පුද්ගලයෙක් බුද්ධශූන්‍යකාලයක දී මිනිස්ලොව කුලගෙයක ඉපද වැඩිවිය පැමිණ බාලජනයන් හා එකතුව සෙල්ලමින් කල් යවන්නේ ගමෙහි පිඬුසිඟා වඩනා පසේබුදු කෙනකුන් දැක “ඇඟ සැම තැන වණ සෑදුණු එකකු මෙන් මුළු සිරුර වසා පොරවා ගෙන ඔබ කුමට පිඬු සිඟන්නෙහි ද? මිනිසකු විසින් ගොවිකම් වෙළඳාම් ආදියෙන් දිවි පැවැත්විය යුතු නො වේ ද? ඔබට ඒවා කරන්නට බැරි නම් ගෙවල මලමුත්‍රාදිය ඉවත් කරමින් ගෙවල පිළිකනු ශුද්ධකිරීමෙන්වත් ජීවත් වන්නය”යි උන්වහන්සේට අපහාස කෙළේ ය.

ඔහු ඒ පවින් බොහෝ කලක් නරකයෙහි පැසී අවශේෂ කර්මයෙන් මිනිස්ලොව ජාති සිය ගණන් සැඩොල් කුලයෙහි ඉපද අවසානවරට අප බුදුරදුන්ගේ කාලයේ රජගහනුවර සැඩොල් පවුලක උපත ලැබුවේ ය. ඔහු සුනීත නම් විය. ඔහු සෑහෙන පමණට ආහාරයකුදු නො ලබමින් නගරයේ කසළ ඉවත් කරමින් තමා පහත් කොට සලකන පිළිකුල් කරන සෙස්සන්ට යටහත් බව දක්වමින් වඳිමින් ඉතා දුකින් ජීවත් විය. එහෙත් ඒහිභික්ෂුභාවයෙන් පැවිද්ද ලැබීමට නිසි, රහත්වීමට නිසි, දේව බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් පිදුම් ලැබීමට නිසි පින් ඔහුට ඇත්තේ ය. ඒ බව අන්‍යයන් තබා ඔහු ද නොදන්නේ ය.

එක් දිනක මහාකරුණාසමාපත්තියෙන් නැඟී ලොව බලා වදාරන්නා වූ තථාගතයන් වහන්සේට සුනීත පෙනිණ. ඔහුගේ පුණ්‍ය සම්පත්තිය ද පෙනිණ. තථාගතයන් වහන්සේ ඔහුට පිහිට වනු පිණිස භික්ෂුසංඝයා ද සමඟ රජගහනුවර සුනීත පිරිසිදු කර වීථියට පිඬු සිඟා වැඩි සේක. කසළ කදක් කර තබා ගෙන යන සුනීතට පෙර මඟ බුදුරදුන් වඩිනු පෙනිණ. සැමට ම යටත් ව සැමටම අයින් වී යන සුනීතට ලෝකාග්‍ර වූ බුදුරදුන් වඩනා කල්හි අයින් වී යාමට තරම් චිත්ත ශක්තියක් නො විණ. බුදුරදුන් මුණ නො ගැසෙන ලෙස පළා යාමට මඟක් ද නො තිබිණ. ඔහු කලබල වී කළ හැකි දෙයක් නැත්තෙන් කසළ කද පසෙක තබා බිත්තියකට හේත්තු වී වැඳ ගෙන සිටියේ ය. තථාගතයන් වහන්සේ ඔහු සමීපයට පැමිණ, “සුනීත”යි අමතා ඔහු ධෛර්‍ය්‍යමත් කොට “නුඹට මේ දුක්ඛ ජීවිකාවෙන් කවර ප්‍රයෝජනයක් ද? නුඹට පැවිදිවන්නට නරකදැ”යි අසා වදාළ සේක. තථාගතයන් වහන්සේගේ වචනය අසා සුනීත කිසි කලෙක නො ලැබූ තරම් ප්‍රීතියක් ලබා “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා වැනි අයටත් පැවිද්ද ලැබිය හැකි නම් මා පැවිදි නොවන්නේ කිම්ද? භාග්‍යවතුන් වහන්ස, මා පැවිදි කරනු මැනව”යි කීය. එකල්හි තථාගතයන් වහන්සේ “ඒහි භික්ඛු”යි වදාළ සේක. ඒ වචනයෙන් සුනීත පැවිද්ද හා උපසම්පදාව ලැබ පෙර පිනෙන් පහළ වූ සිවුරු හැඳ පොරොවා සියවස් ගත කළ මහතෙර කෙනෙකුන් සේ සුන්දර ශ්‍රමණාකල්පයෙන් තථාගතයන් වහන්සේ සමීපයේ සිටියේ ය.

ඉක්බිති තථාගතයන් වහන්සේ සුනීත භික්ෂුව විහාරයට කැඳවා ගෙන ගොස් කමටහන් දුන්හ. හෙතෙමේ විවේකස්ථානයකට එළඹ තථාගතයන් වහන්සේ දුන් උපදෙස් අනුව භාවනා කොට පඤ්චාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා අනතුරු ව විදර්ශනා කොට සව් කෙලෙසුන් නසා අර්හත්ඵලයට පැමිණියේ ය. රහත් වූ සුනීත තෙරුන් වහන්සේ වෙත ශක්‍රයා ද බ්‍රහ්මයෝ ද බොහෝ දෙවියෝ ද පැමිණ-

“නමො තෙ පුරිසාජඤ්ඤ
නමො තෙ පුරිසුත්තම,
යස්ස තෙ ආසවා ඛීණා ,
දක්ඛිණෙය්‍යො'සි මාරිස”

යනුවෙන් පුරුෂාජානීයයන් වහන්ස, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමයන් වහන්ස, ඔබට නමස්කාර වේවා! නිදුකාණන් වහන්ස, ඔබගේ ආශ්‍රවයෝ ක්ෂය වූහ. ඔබ වහන්සේ දක්ෂිණාවට සුදුසු වූවහුය යි කියමින් දොහොත් මුදුන් දී නමස්කාර කළෝ ය.

(ථෙරගථා අට්ඨකථා 540)

ඇතැම්හු අතීතයෙහි කළ බොහෝ පව්කම් ඇත්තෝ ද සමහර විට මහත් යස ඉසුරෙන් මහා සම්පත්තියෙන් කල් යවති. ඔවුන්ගේ පව්කම් ඇති බව ඔවුහු ද නො දනිති. සෙස්සෝ ද නො දනිති. තථාගතයන් වහන්සේ සෑම දෙනාගේ ම චරිත දන්නාහ.

අධිමුක්තිය පස්වන තථාගත බලය විස්තර කිරීමේදී කියැවිණ. අධිමුක්ති දැනීම වෙන ම තථාගත බලයක් ව තිබියදී මේ ඉන්ද්‍රියපරෝපරියත්තඤාණයට එය නැවත ඇතුළු කොට දක්වා තිබෙන්නේ ඉන්ද්‍රියයන්ගේ තත්වය අනුව ද අධිමුක්තිය දැනෙන බැවිනි.

ලෝභ දෝස මෝහ මාන දිට්ඨී විචිකිච්ඡා ථින උද්ධච්ච අහිරික අනොත්තප්පය යි ක්ලේශ නම් වූ ධර්ම දශයක් ඇත්තේ ය. දූවිල්ල වැටුණ හොත් එයින් ඇස වැසෙන්නාක් මෙන් යමකුගේ සන්තානයෙහි රාගාදි කෙලෙසුන් උපදිත හොත් ඒවායින් ඔහුගේ නුවණැස වැසෙන්නේය. එබැවින් කෙලෙසුන්ට දූවිලිය යි ද කියනු ලැබේ. ඇතමුන්ට නිතර කෙලෙස් ඇති නො වේ. ඇති වන කෙලෙස් ද ඝනව ඇති නො වේ. ඔවුහු නුවණැසෙහි කෙලෙස් රජස් අධික ව නැති බැවින් අප්පරජක්ඛ නම් වෙති. ධර්මයෙන් ඈත් ව වෙසෙන සත්පුරුෂ සේවනයක් නැති ව වෙසෙන ඇතැමුන්ට නිතර ම කෙලෙස් ඇති වේ. ඇතිවන කෙලෙස් ද ඉතා ඝනව ඇතිවේ. කෙලෙස් දූවිල්ලෙන් වැසී ගිය නුවණැස ඇති ඔවුහු මහාරජක්ඛ නම් වෙති. තථාගතයන් වහන්සේ අල්පරජස්කයන් ද දන්නාහ. මහාරජස්කයන් ද දන්නාහ.

සද්ධින්ද්‍රිය - විරියන්ද්‍රිය - සතින්ද්‍රිය - සමාධින්ද්‍රිය - පඤ්ඤින්ද්‍රිය කියා මඟපල ලැබීමට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම පසක් ඇත්තේ ය. නැවත නැවත සේවනය කිරීමෙන් තමන් ගේ සන්තානයෙහි නිතර නිතර ඇති කර ගැනීමෙන් දියුණු කර ගන්නා ලද ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ඇත්තෝ තික්ඛින්ද්‍රිය නම් වෙති. එසේ ඉන්ද්‍රියයන් දියුණු කර නො ගත්තෝ මුදුන්ද්‍රියයෝ නම් වෙති. තථාගතයන් වහන්සේ තික්ඛින්ද්‍රිය වූ ද මුදුන්ද්‍රිය වූ ද සත්ත්වයන් දන්නාහ.

යහපත් වූ ආශය චරිත අධිමුක්ති ඇත්තා වූ අල්පරජස්ක වූ තියුණු ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය ඇත්තා වූ සත්ත්වයෝ ස්වාකාර නම් වෙති. ලාමක වූ ආශය අනුශය චරිත අධිමුක්ති ඇත්තා වූ මහාරජස්ක වූ නො දියුණු ඉන්ද්‍රිය ඇත්තා වූ සත්ත්වයෝ ද්වාකාර නම් වෙති. තථාගතයන් වහන්සේ ස්වාකාර ඇත්තා වූ ද ද්වාකාර ඇත්තා වූ ද සත්ත්වයන් දන්නාහ.

ස්වාකාර ඇත්තා වූ සත්ත්වයනට හොඳ නරක තේරුම් කරදීම, ස්කන්ධාදි ගැඹුරු ධර්ම තේරුම් කර දීම පහසු ය. එබැවින් ඔවුහු සුවිඥාප්‍ය නම් වෙති. ද්වාකාර ඇත්තා වූ සත්ත්වයනට හොඳ නරක තේරුම් කර දීම, ගැඹුරු ධර්ම තේරුම් කර දීම අපහසු ය. ඔවුහු දුර්විඥාප්‍ය නම් වෙති. තථාගතයන් වහන්සේ සුවිඥාප්‍ය සත්ත්වයන් ද දන්නාහ. දුර්විඥාප්‍ය සත්ත්වයන් ද දන්නාහ.

දහම් ඇසීමෙන් භාවනාවෙහි යෙදීමෙන් වර්තමාන භවයෙහිදී ම මඟපල ලැබීමට සුදුසු පුද්ගලයෝ ද ඇත. ඔවුහු භව්‍ය නම් වෙති. කොතෙක් දහම් ඇසුව ද කොතෙක් භාවනා කළ ද ඒ භවයේදී මඟපල ලැබිය නො හෙන පුද්ගලයෝ ද ඇත. ඔවුහු අභව්‍ය නම් වෙති.

“යෙ තෙ සත්තා කම්මාවරණෙන සමන්නාගතා කිලෙසාවරණෙන සමන්නාගතා විපාකාවරණෙන සමන්නාගතා අස්සද්ධා අච්ඡන්දිකා දුප්පඤ්ඤා අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මේසු සම්මත්තං ඉමෙ තෙ සත්තා අභබ්බා.”

(විභඞ්ග පාළි 267)

කර්මාවරණය ඇති, ක්ලේශාවරණය ඇති, විපාකාවරණය ඇති, ශ්‍රද්ධාව නැති, මඟපල ලැබීමේ ඕනෑකම නැති, නුවණ නැති, කුශලධර්මවිෂයෙහි සම්මත්තනියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට සුදුසුකම් නැති සත්ත්වයෝ අභව්‍යයෝය යි එයින් දක්වන ලදී.

මවු මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, ලොවුතුරා බුදුන්ගේ ශරීරයෙහි ලේ ඉපදවීම, සංඝයා භේද කිරීම යන දෙවන ජාතියේ විපාක දීමෙහි නියත කර්ම පස අතුරෙන් යම්කිසිවක් කළ පුද්ගලයකුට ඒ ආත්මභාවයේදී මඟපල නො ලැබිය හැකි ය. ඒවා ලෝකෝත්තර මාර්ගය ආවරණය කරන කර්මයෝ ය. කර්මාවරණය යි කියනුයේ ඒ කර්ම පසට ය. නාස්තික අහේතුක අක්‍රිය යන නම් ව්‍යවහාර කරන කර්මය හා කර්මඵලය ප්‍රතික්ෂේප කරන දෘෂ්ටි තුනෙන් යම්කිසි දෘෂ්ටියක් ගෙන සිටින්නහුට ඒ ජාතියේදී මඟපල නො ලැබිය හැකි ය. එය ලෝකෝත්තර මාර්ගය වසන ක්ලේශයෙකි. එබැවින් එය ක්ලේශාවරණ නම් වේ. අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධියෙන් උපනුන්ට ද ඒ ජාතියේදී මගපල නො ලැබිය හැකි ය. ප්‍රතිසන්ධිය කර්ම විපාකයකි. ලෝකෝත්තර මාර්ගය වසන විපාකයක් බැවින් අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධිය විපාකාවරණ නම් වේ.

ආවරණය කරන ආනන්තර්‍ය්‍යකර්ම නැති, ආවරණය කරන නියත මිථ්‍යාදෘෂ්ටිසංඛ්‍යාත ක්ලේශය නැති, ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇති, ශ්‍රද්ධාව ඇති, බලවත් ජන්දය ඇති, නුවණ ඇති, පෙර පින් ඇති පුද්ගලයෝ ඒ ජාතියේ මඟපල ලැබීමට භව්‍යයෝ ය. සුදුස්සෝ ය. තථාගතයන් වහන්සේ මොවුහු භව්‍යයෝ ය. මොවුහු අභව්‍යයෝ යයි භව්‍යාභව්‍ය පුද්ගලයන් දන්නාහ.

අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ආශය, අනුශය, චරිත, අධිමුක්ති දන්නා වූ ද අල්පරජස්ක, මහාරජස්ක, තීක්ෂණේන්ද්‍රිය, මෘද්වින්ද්‍රය, ස්වාකාර, ද්වාකාර, සුවිඥාප්‍ය, දුර්විඥාප්‍ය, භව්‍යාභව්‍ය පුද්ගලයන් දන්නා වූ නුවණ ඉන්ද්‍රියපරෝපරියත්තඤාණ නම් වූ තථාගත බලය ය.

7. සත්වන තථාගත බලය.

ධ්‍යානාදීන්ගේ සංක්ලේශාදිය දන්නා නුවණ.

“පුන ච පරං සාරිපුත්ත තථාගතෝ ඣාන විමොක්ඛ සමාධි සමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො ඣාන විමොක්ඛ සමාධි සමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තෙති.”

ප්‍රථමධ්‍යානාදි ධ්‍යානයන්ගේ ද ‘රූපී රූපානි පස්සති’යනාදින් දේශිත අෂ්ටවිමෝක්‍ෂයන්ගේ ද සවිතර්කසවිචාර සමාධ්‍යාදි තෙවැදෑරුම් සමාධීන්ගේ ද ප්‍රථමධ්‍යානසමාපත්‍යාදි නව වැදෑරුම් සමාපත්තීන්ගේ ද සංක්ලේශ - ව්‍යවදාන - ව්‍යුත්ථාන දන්නා නුවණ තථාගත බලයක් බව එයින් දැක්විණ.

ධ්‍යානභාවනා කරන්නා වූ ඇතැම්හු එය ගැන හොඳ දැනුමක් නැති බැවින් ධ්‍යානය ලබා ද තවම ධ්‍යානයක් ලැබී නැත යයි සිතති. තමන් වඩන කර්මස්ථානය නියම කර්මස්ථානයක් වුව ද අකර්මස්ථානයකැයි සිතති. ඇතමෙක් ධ්‍යාන නො ලැබ ම තමන් ධ්‍යාන ලබා ඇත ය යි සිතති. තමන් අකර්මස්ථානයක් වඩමින් එය කර්මස්ථානයකැ යි සිතති. සමහර විට භාවනාවෙහි යෙදී සිටිනා අතර ඇතැම්හු නින්දට වැටෙති. ධ්‍යානය නො ලැබම ධ්‍යාන ලදිමුය යි සිතන්නවුන් එසේ සිතන්නේ නින්ද ධ්‍යානය යි සිතා ගැනීමෙනි. මෙකල ඇතමුන් සමාධි වීමු ය යි කියන්නේ ද මේ නින්දට වැටීමෙනි. තථාගතයන් වහන්සේ සෑම දෙනාගේ ම ධ්‍යානාදිය පිළිබඳ නියම තත්ත්වය දන්නාහ. එය සත්වන තථාගත බලය ය.

8. අටවන තථාගතබලය.

අතීත ජාති දන්නා නුවණ

“පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථීදං? එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්’පි ජාතියො තිංසම්’පි ජාතියො චත්තාරිසම්’පි ජාතියො පඤ්ඤාසම්’පි ජාතියො ජාතිසතම්’පි ජාති සහස්සම්’පි ජාතිසතසහස්සම්’පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පේ අමුත්‍රාසිං එවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එව’මාහාරො එවං සුඛදුක්ඛපටිසංවේදී එව’මායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං තත්‍රාපාසිං එවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවේදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නොති, ඉති සාකාරං සඋද්දෙසං අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං? එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ - ඉතිං සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති ඉදම්’පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති-පෙ- පවත්තෙති. ”

මේ පාඨයෙන් දැක්වෙන්නේ තමන් වහන්සේගේ අතීත භව පරම්පරාව දක්නා නුවණ තථාගතයන් වහන්සේගේ එක් ඥානබලයක් බව ය. තමන් වහන්සේ අතීතයෙහි මෙබඳු නාමයකින් මෙ නම් ගෝත්‍රයක් ඇති ව මෙ බඳු ආහාරපාන ඇති ව මෙ බඳු සුවදුක් ඇති ව මෙ පමණ ආයු ඇති ව විසුවෙමි ය. ඉන් චුත ව අසවල් තැන උපන්නෙමි ය. එහි මෙ බඳු ශරීරයක් විය. මෙ බඳු පැහැයක් ඇත්තේ වීමි ය. මෙ බඳු නමක් විය. අසවල් ගෝත්‍රය විය. මේ මේ දේ ආහාර කොට ගතිමි ය. මෙ බඳු සුව දුක් ලැබීමි ය. මේ පමණ ආයුෂ විය. මෙසේ පිරිසිදු ලෙස ම අනේකකල්පකෝටීන්හි තමන් වහන්සේ උපන් අතීත ජාතීන් භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.

පර්‍ය්‍යන්ත පරිච්ඡේදයක් නැති ව කැමති පමණක් අතීත ජාතීන් දැකිය හැකි නුවණක් ලොවුතුරා බුදුනට ඇත්තේ ය. එක්තරා ප්‍රමාණයකින් අතීතජාති දැකීමෙහි සමත් පුද්ගලයෝ ඇතහ. ඔවුන්ගෙන් ඇතමෙක් වර්තමාන ජාතියට සමීප වූ අතීත ජාතිය පමණක් දකිති. ඇතමෙක් ජාති දෙක තුනක් සතරක් පසක් දකිති. ධ්‍යානාභිඥා ලබා ඇති ඇතැම් බාහිර තවුසෝ සතළිස් කපක අතීත ජාති දකිති. නාමරූප පරිච්ඡේදයක් නැති බැවින් ඔවුන්ගේ නුවණ දුබල ය. එ බැවින් ඔවුහු සතළිස් කපින් ඔබ අතීතය දක්නට සමත් නො වෙති. ඔවුනට වඩා අධිකව නුවණ ඇති බැවින් තථාගතයන් වහන්සේ ගේ ඇතැම් ශ්‍රාවකයෝ කල්ප සියයක දහසක අතීතය දකිති. ඔවුනට වඩා නුවණැති බැවින් අසූ මහාශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක අතීතය දකිති. අග්‍ර ශ්‍රාවක දෙනම එකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අතීතය දකිති. පසේ බුදුහු කල්ප අසංඛ්‍ය දෙකක් හා ලක්ෂයක් අතීතය දකිති.

(විසුද්ධිමග්ග 307)

9. නවවන තථාගත බලය.

සත්ත්වයනගේ ච්‍යුති උත්පත්ති දන්නා නුවණ.

“පුන ච පරං සාරිපුත්ත, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ යථාකම්මූපගෙ සත්තෙ පජානිති, ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිචිඡාදිට්ඨීකා මිච්ඡාදිට්ඨීකම්ම සමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨී කම්මසමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති, ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්ත මානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථා කම්මූපගෙ සත්තෙ පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො-පෙ-බ්‍රහ්මචක්කං පවත්තෙති.”

ඒ ඒ භවයෙන් ච්‍යුත ව ඔවුන් කළ පින් පව් අනුව සත්ත්වයන් සුගති දුර්ගති දෙක්හි උපදනා හැටි තථාගතයන් වහන්සේ දක්නාහ. ඒ ඥානය නව වන තථාගතබලය ය යි මේ පාඨයෙන් දැක් වේ. තථාගතයන් වහන්සේට එකිනෙකට මුහුණ ලා පිහිටි ගෙවල් දෙකක් සමීපයේ බලාසිටින්නකුට ඒ ගෙයින් මේ ගෙයටත් මේ ගෙයින් ඒ ගෙයටත් යන එන අය පැහැදිලි ලෙස පෙනෙන්නාක් මෙන් ලෝකයෙහි ඒ ඒ සුගති දුර්ගති භව වලින් ච්‍යුත ව කර්මානුරූප ව සුගති දුර්ගති දෙක්හි උපදනා සත්ත්වයන් පෙනෙන බව දේවදූත සූත්‍රයෙහි ද දක්වා තිබේ.

මේ චුතූපපාතඤාණය ශ්‍රාවකයනට ද සාධාරණ ඥානයෙකි. වර්තමාන භවයේ ච්‍යුතිය පමණක් දකින අනාගතෝත්පත්තිය නො දක්නා පුද්ගලයන් සත්ත්වයා මරණින් කෙළවර වන්නේය යන උච්ඡේද දෘෂ්ටිය ගන්නා බවත්, අතීතභවයේ ච්‍යුතිය නො දැක වර්තමානෝත්පත්තිය පමණක් දක්නවුන් අලුත් සත්ත්වයෝ පහළ වෙති ය යන දෘෂ්ටිය ගන්නා බවත්, ච්‍යුති උප්පත්ති දෙක ම දැකීම දෘෂ්ටිවිශුද්ධිය පිණිස පවත්නා බවත් විශුද්ධිමාර්ගයේ කියා ඇත්තේ ය.

10. දශවන තථාගත බලය.

ආශ්‍රවක්ෂය ඥානය.

“පුන ච පරං සාරිපුත්ත, තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙ ව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තෙති.”

(මහාසීහනාද සුත්ත)

තථාගතයන් වහන්සේ කාමාදි ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ආශ්‍රව රහිත වූ අර්හත්ඵලසමාධිය අර්හත්ඵල සම්ප්‍රයුක්ත ප්‍රඥාව වර්තමාන ආත්මභාවයේ ම අධික වූ ප්‍රඥාවෙන් තමන් වහන්සේ ම ප්‍රත්‍යක්ෂ කර ගෙන සම්පාදනය කරගෙන වාසය කරන්නාහ. එය තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් ය යන බව ඉහත දැක්වූ පාඨයෙන් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට වදාළ සේක.

දශබලඥාන සංග්‍රහ ගාථා

ඨානාඨානෙ විපාකෙ ච - මග්ගෙ සබ්බත්ථ ගාමිනා,
නානාධාතුම්හි ලොකස්මිං - අධිමුත්තිම්හි පාණිනං,
පරොපරියත්තේ ඤාණං - ඉන්ද්‍රියානඤ්ච ජන්තුනං,
ඣනාදීසු ඤාණං පුබ්බෙ - නිවාසෙ දිබ්බචක්ඛු ච,
ආසවක්ඛයඤාණන්ති - දසඤාණබලං මතං

(සාසනසම්පත්ති දීපනී)

තථාගත කාය බලය.

තථාගතයන් වහන්සේට ඥානබල පමණක් නොව ලෝකයෙහි අන් කවරකුටවත් නැති පුදුම කායබලයක් ද ඇතිබව අටුවාවල දක්වා තිබේ. ඒ මෙසේ ය:-

“කාළාවකඤ්ච ගංගෙය්‍යං - පණ්ඩරං තම්බ පිංගලං,
ගන්ධමංගල හෙමඤ්ච - උපොසථ ඡද්දන්තිමෙ දස”

යනුවෙන් දැක්වෙන ඇත්කුල දශයක් ඇත්තේ ය. ඒ ඇත් කුල වලින් කාළාවක ඇතකුට පුරුෂයන් දශ දෙනෙකුගේ කාය බලය ඇත්තේ ය. කාළාවකයන් දසදෙනෙකුගේ බලය එක් ගංගෙය්‍ය ඇතකුට ඇත්තේ ය. ගංගෙය්‍යන් දසදෙනකුගේ බලය එක් පණ්ඩර ඇතකුට ඇත්තේ ය. පණ්ඩරයන් දසදෙනකුගේ බලය එක් තම්බ ඇතකුට ඇත්තේ ය. තම්බයන් දසදෙනෙකුගේ බලය එක් පිංගල ඇතකුට ඇත්තේ ය. පිංගලයන් දසදෙනෙකුගේ බලය එක් ගන්ධ ඇතකුට ඇත්තේ ය. ගන්ධයන් දසදෙනෙකුගේ බලය එක් මංගල ඇතකුට ඇත්තේ ය. මංගල ඇතුන් දසදෙනෙකුගේ බලය හේම ඇතකුට ඇත. හේමයන් දසදෙනෙකුගේ බලය උපෝසථ ඇතකුට ඇත. උපෝසථයන් දස දෙනකුගේ බලය ඡද්දන්තකුලයේ ඇතකුට ඇත්තේ ය . ඡද්දන්තයන් දසදෙනකුගේ බලය බුදුනට ඇත්තේ ය. ඒ බලයට නාරායනසංඝාත බලය යි ද කියනු ලැබේ. මේ චක්‍රය අනුව කියන බුද්ධකායබලය සාමාන්‍ය ඇතුන් අනුව කියත හොත් කෝටි දහයක් ඇතුන්ගේ බලය ය. පුරුෂගණනින් කියතහොත් පුරුෂයන් කෝටිදසදහසක බලය ය.

3. විජ්ජාචරණසම්පන්න ගුණය

තථාගතයන් වහන්සේ විද්‍යාවන්ගෙන් හා චරණයන්ගේ යුක්ත වන සේක. ඒ විද්‍යාචරණසම්පත්තිය එක් බුද්ධගුණයෙකි. ඒ ඒ දෙය ඒ ඒ කරුණ නිවැරදි ලෙස දන්නා නුවණ විද්‍යා නම් වේ. ලෝකයෙහි අනේක විද්‍යා ඇත්තේ ය. එයින් මේ බුද්ධගුණ කථාවෙහි ගනු ලබන්නේ ආර්‍ය්‍යවිද්‍යාව ය. එනම්, සාමාන්‍ය ජනයාට විෂය නො වන බුද්ධා දී ආර්‍ය්‍යයන්ට හා ඇතැම් උත්තම පුද්ගලයන්ට පමණක් විෂයවන චතුස්සත්‍යාදිය ඇති සැටියට දැන ගන්නා ඥානය ය. චතුරාර්‍ය්‍ය සත්‍යයන් පැහැදිලි කොට කාමාදි ආශ්‍රවයන් ක්‍ෂය කොට නිවන් රසය මතුකර දෙන අර්හත් මාර්ගඥානය ප්‍රධාන ආර්‍ය්‍යවිද්‍යාව ය. එය ඇති කර ගැනීමට උපකාර වන ඥානයන් ද ආර්‍ය්‍යවිද්‍යා වශයෙන් ගතයුතු බැවින් ඒවා ද ගෙන ඇතැම් සූත්‍රයක විද්‍යා තුනක් ද, ඇතැම් සූත්‍රයක විද්‍යා අටක් ද දක්වා තිබේ.

චරණ යනු පාදයට නමෙකි. ආර්‍ය්‍යවිද්‍යාව ලැබීමට හා නිවන් ලැබීමට උපකාර වන ශීලාදී ගුණධර්ම සමූහය නිර්වාණය කරා යාමට පයක් වන බැවින් ඒවාට චරණය යි කියනු ලැබේ. ත්‍රිශික්ෂාවෙන් ශීල සමාධි දෙක චරණයට අයත් ය. ප්‍රඥාව විද්‍යාව ය.

විද්‍යා-චරණ දෙකින් පළමුවෙන් සම්පාදනය කළ යුත්තේ චරණය ය. චරණයේ නො පිහිටා, චරණය නැතිව විද්‍යාව නො ලැබිය හැකිය. ප්‍රතිපත්තික්‍රමය අනුව කියත හොත් “චරණ විජ්ජා සම්පන්නො”යි චරණය මුලට තබා කියයුතු ය. විද්‍යාව මුලට තබා “විජ්ජාචරණසම්පන්නො”යි කියා තිබෙන්නේ කීමේ පහසුව සඳහා ය. ද්වන්දසමාසයේ අකුරු අඩු පදය මුලට යොදා ගැනීම භාෂා රීතීය ය.

විජ්ජාචරණසම්පන්න ගුණය බුද්ධගුණයක් වශයෙන් කියා ඇතත් එය ශ්‍රාවකයන්ට ද සාධාරණ ගුණයෙකි. සියලු ම ආර්‍ය්‍යශ්‍රාවකයන්ට ඒ ඒ ප්‍රමාණයෙන් විද්‍යාචරණසම්පත්තිය ඇත්තේ ය. එහෙත් ශ්‍රාවකයන්ගේ විජ්ජාචරණසම්පත්තිය ට වඩා බුදුවරුන්ගේ විජ්ජාචරණසම්පත්තිය බොහෝ උසස් ය. දීපඞ්කර බුදුරදුන්ගේ කාලයේ පටන් බුදුවීම දක්වා සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි බෝසතාණන් විසින් සම්පාදනය කළ පාරමිතා කුශලස්කන්ධය බුදුරදුන්ගේ චරණය ය. එබඳු චරණසම්පත්තියක් ශ්‍රාවකයනට නැත. ඒ මහත් වූ චරණසම්පත්තියෙන් ලද තථාගතයන් වහන්සේගේ විද්‍යාසම්පත්තිය ද ශ්‍රාවකයන්ගේ විද්‍යාසම්පත්තියට බොහෝ උසස් ය. තථාගතයන් වහන්සේගේ විද්‍යාචරණසම්පත්තිය විශේෂයෙන් මතු වී පෙනෙන ගුණයක් වී ඇති බැවින් නවගුණ පාඨයට “විජ්ජාචරණ සම්පන්නො” යන පදය එකතු කර ඇත්තේ ය.

අර්හන්මාර්ගසංඛ්‍යාත ආර්‍ය්‍ය විද්‍යාව නො ලබා, කාමාදි ආශ්‍රවයන් ක්‍ෂය කොට, නිවනට නො පැමිණිය හැකිය. පූර්වභාග ප්‍රතිපත්තිය වූ චරණ සම්පත්තියෙන් තොරව ඒ විද්‍යාව නො ලැබිය හැකිය. එබැවින් නිවනට පැමිණ දුක් කෙළවර කරනු කැමති සැම දෙනා විසින් ම විද්‍යාචරණ සම්පාදනය කළ යුතුම ය. අර්හත්වය සඳහා පෙරුම් පුරන කාලයේදී ම විද්‍යා පක්ෂයට අයත් පාරමිතාවන් හා චරණ පක්ෂයට අයත් පාරමිතාවන් පිරිය යුතුය. චරණ පක්‍ෂයට අයත් පාරමිතා නම් දානය - ශීලය හා සමාධි භාවනාවය. විද්‍යා පක්‍ෂයට අයත් පාරමිතා නම් ස්කන්ධාදි ධර්ම විභාග උගෙනීම හා විදර්ශනා කිරීම ය. චරණ පක්‍ෂයට අයත් පාරමිතා පමණක් ඇතියවුන්ට ලොවුතුරා බුදු කෙනෙකුන් හමුව දහම් අසන්නට ලැබුණේ වී නමුත් අතීතයෙහි සම්පාදනය කළ විද්‍යා බීජය නැති බැවින් මඟපල නො ලැබෙන්නේ ය. බුදුන් දැක දහම් අසා මඟපල ලබා නිවන් දැකීමට නො සමත් වූවෝ ද ඉතා බොහෝ ය. අතීතයෙහි ස්කන්ධාදි ධර්ම උගෙන විදර්ශනා වඩා විද්‍යා බීජය සම්පාදනය කර ගෙන ඇති සත්පුරුෂයන්ට බුදු කෙනෙකුන්ගෙන් දහම් අසන්නට ලැබුණු විට ලෙහෙසියෙන් ම මඟ-පල ලැබෙන්නේ ය.

විද්‍යාව

තථාගතයන් වහන්සේ විසින් බොහෝ සූත්‍රවල ත්‍රිවිද්‍යාවක් දක්වා වදාරා තිබේ. අම්බට්ඨ සූත්‍රයෙහි පමණක් අෂ්ට විද්‍යාවක් දේශනය කර තිබේ.

ත්‍රිවිද්‍යාව නම්:-

01. තමන්ගේ ද සෙස්සන්ගේ ද පෙර ඉපද සිටි ජාති පිළිවෙළ නාමගෝත්‍රාදි වශයෙන් දක්නා වූ පූර්වේනිවාසානුස්මෘති ඥානය,

02. ඒ ඒ සුගති දුර්ගති භවවලින් ච්‍යුතව කර්මානුරූපව නැවත ඒ ඒ භව වල උපදනා සත්ත්වයන් දක්නා දිව්‍යංචක්ෂුරභිඥානය,

03. දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත් වූ පරිදි දැන කාමාදි ආශ්‍රවයන් ක්ෂය කර නිවන් රසය මතු කර දෙන අර්හන්මාර්ගඥානය,

යන මේ ඥාන තුනය. දශබලකථාවෙහි අටවන නවවන දශවන තථාගතබල වශයෙන් දැක්වෙන්නේ ද මේ විද්‍යා තුන ය. මේ විද්‍යා තුන ඇතැම් සූත්‍රයක තථාගතයන් වහන්සේ විසින් ලැබූ අයුරු දක්වා තිබේ. ඇතැම් සූත්‍රයක ශ්‍රාවකයන් විසින් ලබා ගන්නා අයුරු දක්වා තිබේ. “අයං ඛො මෙ බ්‍රාහ්මණ, රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා. අයං ඛො මෙ බ්‍රාහ්මණ, රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා. අයං ඛො මෙ බ්‍රාහ්මණ, රත්තියා පච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා” යනාදීන් භයභෙරව සූත්‍රාදියෙහි “බ්‍රාහ්මණය, මා විසින් රාත්‍රියේ ප්‍රථම යාමයේ දී මේ ප්‍රථම විද්‍යාව ලබන ලද්දේ ය. මධ්‍යම යාමයේ ද්විතීය විද්‍යාව ලබන ලද්දේය. පශ්චිම යාමයේ තෘතිය විද්‍යාව ලබන ලද්දේ ය”යි තමන් වහන්සේගේ විද්‍යා සම්පත්තිය වදාරා තිබේ.

එක් කලෙක තථාගතයන් වහන්සේ වේශාලි නගරය සමීපයේ මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වෙසෙන සේක්, ඒකපුණ්ඩරික නම් පිරිවැජි අසපුවට වැඩම කළ සේක. එහි වෙසෙන වච්ඡ නම් පිරිවැජි තෙමේ තථාගතයන් වහන්සේ පිළිගෙන වඩා හිඳුවා “පින්වත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයෝ සර්වඥයෝ ය, සියල්ල දන්නෝ ය. ඇවිදින සිටින නිදන සැම විට ම සියල්ල ම පෙනෙන ඥාන දර්ශනයක් උන්වහන්සේට ඇත යයි කියනු මා විසින් අසා ඇත්තේ ය. ගෞතමයන් වහන්ස, ඔවුහු නුඹ වහන්සේ විසින් වදාරන ලද්දක් කියත් ද? නැත හොත් නුඹ වහන්සේට අවමන් කරනු සඳහා එසේ කියත් දැ”යි විචාළේ ය. “වච්ඡය, ඔවුහු මා විසින් කියන ලද්දක් කියන්නෝ නො වෙති, ඔවුහු අභූතයෙන් මට නිග්‍රහ කරන්නෝ ය”යි තථාගතයන් වහන්සේ වදාළහ.

“පින්වත් ගෞතමයන් වහන්ස, කෙසේ කියන්නෝ නුඹවහන්සේ විසින් කියන ලද පරිදි කියන්නෝ දැ”යි වච්ඡ විචාළේය. “වච්ඡය, ශ්‍රමණ ගෞතමයෝ ත්‍රිවිද්‍යා ඇත්තෝ ය යි කියන්නෝ මා විසින් කියන ලද්දක් කියන්නෝ ය. මාහට අභූතයෙන් නින්දා නො කරන්නෝ ය”යි වදාරා තථාගතයන් වහන්සේට ඇති ත්‍රිවිද්‍යා ද වදාළ සේක.

(ම.නි. තෙවිජ්ජවච්ඡගොත්ත සුත්ත)

ශ්‍රාමාණ්‍යඵලසූත්‍රාදි බොහෝ සූත්‍ර ධර්මවල ශ්‍රාවකයන් විසින් ත්‍රිවිද්‍යාව සම්පාදනය කරන අයුරු වදාරා තිබේ. ඒ සූත්‍ර අනුව මේ ත්‍රිවිද්‍යාව ශ්‍රාවකයන්ට ද ඇති ගුණයක් බව කිය යුතු ය.

අම්බට්ඨ සූත්‍රයේ අෂ්ටවිද්‍යාව.

අම්බට්ඨ සූත්‍රයෙහි අෂ්ඨවිද්‍යාවක් වදාරා තිබේ. එය අන් සූත්‍රයක නො දක්නා ලදී. ඒ කරුණු අට ශ්‍රාමාණ්‍යඵලසූත්‍රයෙහි ශ්‍රාමණ්‍යඵල වශයෙන් (පැවිද්දෙහි ප්‍රයෝජන වශයෙන්) වදාරා ඇත.

  1. විදර්ශනාඥානය
  2. මනෝමයඍද්ධිඥානය
  3. ඍද්ධිවිධඥානය
  4. දිව්‍යශ්‍රෝත්‍රඥානය
  5. පරචිත්තවිජානනඥානය
  6. පූර්වේනිවාසානුස්මෘතිඥානය
  7. දිව්‍යංචක්ෂුරභිඥානය
  8. ආශ්‍රවක්ෂයකරඥානය

මේ ඒ අෂ්ටවිද්‍යාවය.

මේ විද්‍යා අට දේශනය කර තිබෙන්නේ සාමාන්‍ය ජනයා අනුව නොව, අෂ්ටසමාපත්තිලාභීන්ගේ වශයෙනි. විදර්ශනාඥානය යනු නාමරූප ධර්මයන් හා ඒවායේ අනිත්‍යාදි ලක්ෂණ දක්නා ඥානය ය. මෙහි ප්‍රථම විද්‍යාව වශයෙන් අදහස් කරන විදර්ශනා ඥානය සාමාන්‍ය පුද්ගලයන් විසින් උගෙනීමෙන් හා තරමක් භාවනාවෙහි යෙදීමෙන් ලබා ඇති දුබල විදර්ශනාඥානයක් නො ව, මඟපල ලබා දීමට සමත් උසස් විදර්ශාඥානය ය. අෂ්ටසමාපත්තීන් උපදවා ඒවා තුදුස් ආකාරයෙන් පුරුදු කොට වශීභාවය ලබාගත් යෝගාවචරයාගේ සිට සිත චතුර්ථධ්‍යාන සමාධියෙන් සමාහිතව සියලු උපක්ලේශවලින් මිදී පිරිසිදු වූ කල්හි, මනාකොට භාවිතා කිරීම නිසා මෘදු වූ කල්හි, කර්මණ්‍ය වූ කල්හි, නිශ්චලව සිටි කල්හි යෝගාවචර තෙමේ ඥාන දර්ශන ප්‍රතිලාභය සඳහා ඒ සිත මෙහෙයවයි. ඔහුගේ ඒ ශුද්ධ වූ සිතින් තමාගේ ආත්මභාවය බලන්නට එහි තතු විමසන්නට වන් කල්හි රූප කය විනිවිද පෙනෙන්නට වෙයි. එහි රූප වෙන් වී පෙනෙයි. ඒවා ඉපද ඉපද බිඳී බිඳී යන සැටි පෙනෙයි. මැනවින් ඔප කොට මැද සිදුරු කොට හුයකින් අවුණා ඇති මාණික්‍යයක් අත්ලෙහි තබා බලන්නකුට එය තුළ ඇති හුය මැනවින් පෙනෙන්නාක් මෙන් ඔහුට රූප කය තුළ පවත්නා වූ ඔහුගේ සිත ද මැනවින් පෙනෙන්නට වෙයි. සිත ඉපද ඉපද බිඳී බිඳී යන සැටි පෙනෙන්නට වෙයි. සිත හා බැඳී උපදනා වූ ස්පර්ශ වේදනාදි චෛතසික ධර්ම ද පෙනෙන්නට වෙයි. මේ විද්‍යා කථාවෙහි විදර්ශනා ඥානය යි කියනු ලබන විද්‍යාව එසේ නාමරූපයන් ඇසට පෙනෙන්නාක් මෙන් පිරිසිදු ලෙස පෙනෙන ඥානය යි.

අෂ්ඨසමාපත්ති විෂයෙහි වශීභාවය ඇති කර ගෙන සිත සකස්කර ගත් යෝගාවචරයා හට තමන්ගේ කය තුළ තමා හා සමාන වූ සර්වාංග පරිපූර්ණ කයක් නිර්මාණය කොට කොපුවක තුබූ දෙයක් පිටතට ගන්නාක් මෙන් එය තමන්ගේ කයින් පිටතට ගත හැකි ය. එසේ කරන්නා වූ චතුර්ථ ධ්‍යානචිත්ත සම්ප්‍රයුක්ත ඥානය මනෝමයඍද්ධි නම් වූ ද්විතීය විද්‍යාව ය.

සිත සකස් කර ගත්තා වූ යෝගාවචරයා හට බොහෝ රූප නිර්මාණය කොට තමාට ම බොහෝ දෙනකුන් සේ පෙනී සිටිය හැකි ය. බොහෝ දෙනකුන්ව සිට එකකු ද විය හැකි ය. නො පෙනෙන තැන පෙනෙන සේ සිටිය හැකි ය. පෙනෙන තැන නො පෙනී සිටිය හැකි ය. ප්‍රාකාර භිත්ති - පර්වත ඇති තැන් වලින් කිසිවක් නැති තැනකින් යන්නාක් මෙන් ඒවායේ නො ගැටී යා හැකි ය. දියෙහි මෙන් පොළොවෙහි ගිළීම මතුවීම කළ හැකි ය. අහසෙහි පොළොවෙහි මෙන් ඉරියව් පැවැත්විය හැකිය. චන්ද්‍ර සුර්‍ය්‍යයන් අතගෑ හැකි ය, බ්‍රහ්මලෝකය දක්වා ලෝකයෙහි තමාගේ ඊශ්වරත්වය පැවැත් විය හැකිය. ඒවා කිරීමට සමත් වන චතුර්ථධ්‍යාන සම්ප්‍රයුක්ත ප්‍රඥාව ඍද්ධිවිධාඥන නම් වූ තෘතිය විද්‍යාව ය.

චූලපන්ථක තෙරුන් වහන්සේ

චූලපන්ථක තෙරුන් වහන්සේ බොහෝ දෙනෙකුන් වීමේ ප්‍රාතිහාර්‍ය්‍යය කළහ. බුදුරදුන් දිවමන් කල්හි රජගහ නුවර චූලපන්ථකය-මහාපන්ථකය කියා සහෝදරයෝ දෙදෙනෙක් වූහ. ඔවුන්ගේ මහා පන්ථක බුදුසස්නෙහි පැවිදි ව අර්හත්වයට පැමිණ ධ්‍යාන සුඛයෙන් හා ඵලසමාපත්ති සුඛයෙන් කල් යවන්නේ “මේ සුවය චූලපන්ථකට ද ලබා දුන හොත් මැනව”යි ඔහු පැවිදි කෙළේ ය. ඉක්බිති මහාපන්ථක තෙරණුවෝ ඔහුට,

“පදුමං යථා කොකනදං සුගන්ධං
පාතො සියා ඵුල්ල මවීතගන්ධං
අඞ්ගීරසං පස්ස විරොචමානං
තපන්තමාදිච්ච මිවන්තලික්ඛෙ”

යන ගාථාව පාඩම් කරවන්නට පටන් ගත්හ. සාරමසක් පාඩම් කරවීමෙන් ද ඔහුගේ සිත්හි එය නො පිහිටියේ ය. එකල්හි තෙරුන් වහන්සේ “සාරමාසකට එක් ගාථාවක් පාඩම් කර ගැනීමට වත් සමත් නො වන ඔබට මේ සස්නෙහි පිහිටක් නො ලැබිය හැකිය. ඔබ නැවතත් ගිහිගෙට ම යන්න ය”යි කීහ. ඒ කාලයේ සංඝයාට එන ආරාධනා පිළිගැනීම භාරව තුබුණේ මහාපන්ථක තෙරුන් වහන්සේට ය. එදින ජීවක වෛද්‍යතෙමේ තෙරුන් වහන්සේ වෙත ගොස් “බුදුරදුන් හා භික්ෂූන් පන්සියයක් සෙට අපගේ නිවසට වැඩමවාගෙන එනු මැනව”යි ආරාධනා කෙළේ ය. තෙරුන් වහන්සේ “චූලපන්ථක හැර සෙසු භික්ෂූන් වෙනුවෙන් ආරාධනාව පිළිගනිමු”යි කීහ. එය අසා චූලපන්ථක භික්ෂු තෙමේ, තෙරණුවන් විසින් තමා සම්පූර්ණයෙන්ම හළ බව දැන පසු දින උදෑසන සිවුරු හැර යන අදහසින් විහාරයෙන් නික්ම දොරටුහළ සමීපයේ හඬමින් සිටියේ ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු දිවැසින් දැක එහි ගොස් “කුමකට හඬන්නෙහි දැ”යි ඇසූ සේක. චූලපන්ථක කාරණය සැල කළේ ය. එකල්හි තථාගතයන් වහන්සේ “මහණ, පාඩම් නො කළ හැකි පමණින් මාගේ සස්නෙහි අභව්‍ය නො වන්නේ ය”යි වදාරා, ඔහු කැඳවා ගෙන විහාරයට පිවිස රෙදිකඩක් මවා ඔහු අතට දී “මහණ, මේ රෙදිකඩ ගෙන තැනක වාඩි වී මෙය පිරිමදිමින් ‘රජෝහරණං, රජෝහරණං’යි සජ්ඣායනා කරව”යි වදාළහ. ඔහු එසේ කරන කල්හි ක්‍රමයෙන් රෙදිකඩ දුර්වර්ණ විය. ඔහු එය දැක “මේ වස්ත්‍රය කිලිටි වූයේ එහි දෝෂයකින් නොව මේ ශරීරයේ දෝෂයෙනැ”යි සිතා රෙදිකඩ ගැන සිතීම හැර පඤ්චස්කන්ධයේ තතු සිතන්නට විය. ඔහුගේ විදර්ශනාඥානය ක්‍රමයෙන් දියුණුව අනුලෝම-ගෝත්‍රභූඥානයන්ට ළං විය. එකල්හි තථාගතයන් වහන්සේ “රාගො රාජො නව පන රෙණු වුච්චති” යනාදි ගාථා තුන ඔහුට ඇසෙන සේ වදාළ සේක. තථාගතයන් ගාථා වදාරා අවසන් කරනු සමඟ ම චූලපන්ථක සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියේ ය. අර්හත්වයට පැමිණීමෙන් පසු ෂඞ් අභිඥාවෝ ද ඇති වූහ.

පසු දින තථාගතයන් වහන්සේ සංඝයා හා ජීවකගේ නිවසට වැඩම කොට පැන වූ අසුන්හි වැඩ සිටි සේක. උන්වහන්සේට පැන් පිළිගන්වා කැඳ පිරිනමන්නට සැරසුණු කල්හි තථාගතයන් වහන්සේ පාත්‍රය වැසූ සේක. එකල්හි ජීවක “කිමෙක්ද? ස්වාමීනි”යි විචාළේ ය. “විහාරයෙහි එක් භික්ෂුනමක් ඇතය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ජීවක “වහා ගොස් ඒ භික්ෂූන් වහන්සේ වැඩමවා ගෙන එව”යි මිනිසකු යැවීය. චූලපන්ථක ස්ථවිරයෝ කලින් තමන් විහාරයෙන් බැහැර කළ සහෝදර තෙරණුවන්ට තමන්ගේ බලය දැක්වීම පිණිස විහාරය පුරා සිටින ලෙස භික්ෂූන් නිර්මාණය කළහ. පුරුෂයා විහාරයට ගොස් එහි භික්ෂූන් පිරී සිටිනු දැක වහා ආපසු ගොස් “ස්වාමීනි, විහාරය භික්ෂූන් වහන්සේගෙන් පිරී ඇත්තේය, කැඳවා ගෙන එන්නට ගිය හිමියන් වහන්සේ හඳුනා ගත නො හැකිය”යි බුදුරදුන්ට සැල කෙළේ ය. නුඹ විහාරයට ගොස් පළමු හමු වන භික්ෂුවගේ සිවුරු කොණ අල්වා ගෙන “ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවති යි කියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. පුරුෂයා එහි ගොස් එසේ කෙළේ ය. එකල්හි විහාරය පිරී සිටි භික්ෂූහු අතුරුදහන් වූහ.

පෙර ජාතිවලදී පින් කොට කරන ලද ප්‍රාර්ථනා ඇතියවුන්ටත් සමීප භවවලදී ධ්‍යානාභිඥා උපදවා ඇති අයටත් පුරන ලද බෝධිසම්භාර ඇති මහා පුරුෂයන්ටත් සමාපත්ති විෂයෙහි තුදුස් ආකාර පුහුණුව නොකළ ද ධ්‍යාන ලැබීමෙන් පසු අභිඥා ද සිද්ධ වේ. චූලපන්ථක තෙරුණුවෝ කාශ්‍යප බුදුරදුන්ගේ ශාසනයෙහි මහණදම් පුරා ඇති කෙනෙකි. එබැවින් උන්වහන්සේට රහත් වූ දිනයේ ම ඒ ප්‍රාතිහාර්‍ය්‍යය කළ හැකි විය. අධිෂ්ඨානයෙන් මැවෙන රූප අධිෂ්ඨාන කළ කාලය ඉක්මීමෙන් ඉබේ ම අතුරුදහන් වේ. ඊට කලින් එකකු වීමට වුවමනා නම් නැවතත් අභිඥාපාදකධ්‍යානයට සමවැදී නැඟිට “එකතු වෙම්වා”යි ඉටිය යුතුය. එසේ කළ කල්හි නිර්මිත රූප අතුරුදහන් වී එකෙක් වේ. ඒ බොහෝ දෙනෙකු වී සිට එකතු වීමේ සෘද්ධිය ය.

තමා අඳුරෙහි සිටියදි අන්‍යයන්ට පෙනෙන සේ සැලැස්වීම, භිත්තිප්‍රාකාරාදියෙන් මුවා වී සිට අන්‍යයන්ට පෙනෙන්නට සැලැස්වීම, දුර සිටින අයට පෙනෙන්නට සැලැස් වීම, අඳුරෙහි හෝ භිත්ති ආදියෙන් මුවා වී හෝ දුර හෝ සිටින්නවුන් තමාට පෙනෙන සේ කිරීම අප්‍රකට දෙය ප්‍රකට කිරීමේ සෘද්ධිය ය. දුර සිටින්නවුන්ට පෙනීමේ ප්‍රාතිහාර්‍ය්‍යය භාග්‍යවතුන් වහන්සේ, තව්තිසා දෙව් ලොව අභිධර්මය දේශනා කළ කාලයේ මුගලන් තෙරුන් වහන්සේ විසින් කර ඇත්තේ ය. යමාමහ පෙළහර දක්නට රැස් වූ පිරිස බුදුරදුන් තව්තිසා දිව්‍යලෝකයට වැඩම කොට එහි වස් විසූ පසු “බුදුන් නො දැක නො යමුය”යි එහි ම රැඳී උන්හ. ඔවුහු මහාපවාරණයට සතියක් තිබියදී මුගලන් මහතෙරුන් වෙත එළඹ, “අපි භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන දිනයක් දැනගන්නට කැමැත්තෙමු”යි කීහ. එකල්හි මුගලන් මහතෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ගමනාගමන දෙක මහජනයාට පෙනෙන සේ ඉටා, පොළොවෙහි ගැලී මහමෙර තුළින් තව්තිසා දෙව්ලොවට ගොස් ශාස්තෲන් වහන්සේගේ පාමුල මතු වී උන්වහන්සේට කාරණය සැල කොට මිනිස් ලොවට නැවත වඩනා දිනය අසා අවුත් මහජනයාට දැන්වූහ. මිනිස් ලොව සිට තව්තිසා දෙව්ලොව දක්වා මුගලන් මහ තෙරුන් වහන්සේගේ ගමනත්, එහි සිට පෙරළා ඊමත් මහජනයාට පෙනිණි. තථාගතයන් වහන්සේ අබිදම් දෙසා මිනිස් ලොවට වඩනා දිනයෙහි උන්වහන්සේගේ වැඩම කිරීම සෑම දෙනාට පෙනෙන ලෙසත් දෙව් මිනිසුන්ට ඔවුනොවුන් පෙනෙන ලෙසත් කළ සේක. තවද මේ ප්‍රාතිහාර්ය තරඞ්ගලවාසී ධම්මදින්න තෙරුන්වහන්සේ විසින් ද කළ බව විසුද්ධි මග්ගයේ සඳහන් කර තිබේ. උන්වහන්සේ තිස්සමහාවිහාරයේ චෛත්‍යය සමීපයේ හිඳ “තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අපණ්ණකං පටිපදං පටිපන්නො හොති” යනාදීන් අපණ්ණක සූත්‍රයෙන් දහම් දෙසන සේක් වටාපත පොළොවට හැරවූහ. අවීචිය දක්වා ලෝකය පෙනෙන්නට විය. නැවත අහස දෙසට වටාපත දිගු කළහ. බ්‍රහ්මලෝකය දක්වා ලෝකය පෙනෙන්නට විය. මෙසේ ලෝක විවරණය කොට නිරයභය හා ස්වර්ගසම්පත්තිය දක්වා දහම් දෙසූ කල්හි එය ඇසු බොහෝ දෙනා මඟපල ද ලබා නිවන් දුටහ.

සමීපයේ සිටිය ද නො පෙනීමේ ප්‍රාතිහාර්‍ය්‍යය අන්ධකාර නිර්මාණාදියෙන් කරති. භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේ සමීපයේ හුන් යස කුලපුත්‍රයා එහි පැමිණ ඔහුගේ පියාට නො පෙනෙන්නට සැලැස්වූහ. තවද තමන් වහන්සේ සමීපයේ ම සිටි දහසක් ඇමතියන් සහිත මහාකප්පින රජු එහි පැමිණ අනෝජා දේවී සහිත දහසක් ස්ත්‍රීන්ට නො පෙනෙන්නට සැලැස්වූහ. මිහිඳුමහරහතන් වහන්සේ ද ලක්දිවට පළමුවෙන් වැඩම කළ දිනයේ තමන් වහන්සේ හා පැමිණි සෙස්සන් රජුට නො පෙනෙන්නට සැලැස්වීමෙන් ඒ ප්‍රාතිහාර්‍ය්‍යය කළහ.

භිත්තිප්‍රාකාරාදියෙහි නො ගැටී ඒවා ඇති තැන් පසු කොට යාමේ ප්‍රාතිහාර්‍ය්‍යය කරන අභිඥාලාභීහු ආකාශ කසිණ පඤ්චමධ්‍යානයෙන් නැගීසිට භිත්ත්‍යාදිය ආකාශය වේවා යි අධිෂ්ඨාන කෙරෙති අධිෂ්ඨාන චිත්තය ඇති වනු සමඟ ම ඒ තැන් ආකාශය වෙයි. ඉන් පසු කිසිවක් නැති තැනකින් යන්නාක් මෙන් ඒ තැන්වලින් යෙති.

පොළොවෙහි ගැළීම මතුවීම කරන සෘධිමත්හු ආපෝකසිණ සාමාපත්තියට සමවැදී නැගිට මෙතෙක් තන්හි පොළොව ජලය වේවායි ඉටති. ඒ සමඟම පොළොව ජලය වෙයි. ඉක්බිති ඔහු වැවක-පොකුණක ජලයෙහි ගැලෙන්නාක් මෙන් එහි ගැලෙයි. එසේ කරන කල්හි පොළොව ජලය වන්නේ සෘද්ධිමතාට පමණෙකි, සෙස්සන්ට එහි ජලයක් නැත, ඔවුනට පෙනෙන්නේ සෘද්ධිමතා පොළොවෙහි ගැළෙන්නා සේ ය. මතු වන කල්හි පෙනෙන්නේ ද පොළොවෙන් මතුවන්නා සේ ය. නිර්මාණය කළ ඒ ජලයෙන් නෑම පීම අත්පා සේදීම භාජනාදි වස්තූන් සේදීම යනාදියෙන් කැමති දෙයක් ද කළ හැකි ය. පොළොව තෙල් ගිතෙල් පැණි ආදිය වන ලෙස සෘද්ධිමතුන්ට නිර්මාණය කල හැකි ය.

පොළොවෙහි මෙන් අහස්හි ගමනාදි ඉරියව් පවත්වන සෘද්ධිමත්හු පඨවි කසිණ සමාපත්තියෙන් නැඟී තමාට වුවමනා අහස් පෙදෙස පොළොව වේවා යි ඉටති. එකෙණෙහි අහස පොළොව වෙයි. ඔවුහු ඒ නිර්මිත පොළොවෙහි ගමන් කරති. වාඩිවී සිටිති. නිදති. සෙස්සන්ට ඒ පොළොව නැත. ඔවුනට පෙනෙන්නේ සෘද්ධිමතා අහසෙහි ම ගමන් කරන ලෙස ය. අහසෙහි හිඳින නිදන ලෙස ය. දියෙහි පොළොවෙහි මෙන් ගමන් කරන සෘද්ධිමත්හු ද පෘථිවිකසිණ ධ්‍යානයෙන් නැඟී ජලය පොළොව වේවා”යි ඉටා එසේ වූ පසු එය මත ගමන් කරති.

හිර සඳ අතගෑමේ ප්‍රාතිහාර්‍ය්‍යය කරන සෘද්ධිමත්හු සඳ හෝ ඉර පිරිමදිනු කැමති කල්හි අභිඥාපාදක චතුර්ථධ්‍යානයෙන් නැඟී සඳ හෝ හිර ආවර්ජනා කොට එය තමන් වෙත පැමිණේ වා යි ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙති. එකෙණෙහි ඔවුන් වෙත හිර හෝ සඳ පැමිණේ. සෘද්ධිමත්හු සෙස්සන් විසින් ළඟ ඇති දෙයක් අත ගාන්නාක් මෙන් හිර - සඳ අතගාති. ඒවා මත පය තබනු කැමති නම් එසේ කරති. වාඩි වනු කැමති නම් ඒවායේ වාඩිවෙති. කොට්ටයක් මෙන් හිසට තබා ගනු කැමති නම් එසේ කරති. මේ ප්‍රාතිහාර්‍ය්‍යය සෘද්ධිමතුන් සියදෙනෙකුට දහස් දෙනෙකුට වුව ද එකවර කළ හැකිය. එයින් අහසේ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ට අමුත්තක් නො වේ. ඒවා එසේ ම අහසෙහි ගමන් කරමින් පවතී. සෘද්ධිමතුන්ට චන්ද්‍ර සූර්‍ය්‍යයන් වෙත ගොස් හෝ මෙහි සිට අත දිගු කොට ඒවා ස්පර්ශ කළ හැකිය.

සෘද්ධිමත් පුද්ගලයාට අපායලෝක දිව්‍යලෝක බ්‍රහ්මලෝක සහිත වූ මේ මහා ලෝකය ස්ව වශයෙහි පැවැත්විය හැකිය. දිව්‍යලෝකයට යනු කැමති නම්, මිනිස් ලොව දිව්‍යලෝකයට ළං කළ හැකිය. බ්‍රහ්ම ලෝකයට යනු කැමති නම්, මිනිස්ලොව බ්‍රහ්ම ලෝකයට ළං කළ හැකිය. දිව්‍යලෝක බ්‍රහ්ම ලෝකයන් මිනිස් ලොවට ද ලං කළ හැකිය. තථාගතයන් වහන්සේ යමාමහපෙළහර කොට දෙව් ලොවට වඩනා සේක්, යුගන්ධර පර්වතය ළං කොට පොළොවෙහි සිට එක් පයක් එහි තැබූහ. මහා මේරු පර්වතය ළං කොට අනික් පය එහි තැබූහ. බුදුරදුන් තව්තිසා දෙව් ලොවින් මිනිස් ලොවට වඩනා දිනයෙහි මුගලන් මහතෙරුන් වහන්සේ සැවැත් නුවරදී දවල් ආහාරය ගෙන තිස්යොදුනකින් ඔබ පිහිටි සංකස්ස නගරයට යනු සඳහා පිටත් වූ මහ පිරිස, සංකස්සය ශ්‍රාවස්තියට ළං කොට එකෙණෙහි ම ඒ නගරයට පැමිණවූහ.

ලක්දිව විසූ චූලසමුද්ද තෙරුන් වහන්සේ විසින් ද මේ සෘද්ධිය කළ බව කියා තිබේ. දුර්භික්ෂ කාලයකදී එක් උදෑසනක චූලසමුද්ද තෙරුන් වහන්සේ වෙත භික්ෂූන් පන්සියයක් පැමිණියහ. තෙරණුවෝ ඒ මහ පිරිසට පිණ්ඩපාතය ලැබිය හැකි තැනක් බලන්නාහු ලක්දිව කිසි තැනක් නො දැක මුහුදින් එතෙර බලන්නාහු පැළලුප් නුවර දැක, ඒ භික්ෂූන් කැඳවාගෙන පොළොව හකුළුවා සැණෙකින් පැළලුප් නුවරට පැමිණියහ. භික්ෂූහු “ස්වාමීනි, මේ කිනම් නගරයක්දැ”යි ඇසූහ. “ඇවැත්නි, පාඨලීපුත්‍ර නගරය”යයි තෙරණුවෝ කීහ. “ස්වාමීනි, පාටලීපුත්‍ර නගරය බොහෝ දුර නො වේදැ”යි භික්‍ෂූහූ කීහ. “ඇවැත්නි, මහලු තෙරවරු දුර ළං කෙරෙති”යි තෙරණුවෝ කීහ. “ස්වාමීනි, මුහුද කොහිදැ”යි භික්ෂූහු කීහ. “ඇවැත්නි, මඟ එක් කුඩා ඇලක් පසු කොට ආවෝ නො වෙත්දැ”යි තෙරණුවෝ කීහ. තෙරණුවෝ “ඇවැත්නි, මහලු තෙරවරු මහත් දේ ද කුඩා කෙරෙතිය”යි කීහ. ලක්දිව විසූ තිස්සගුත්ත නමැති තෙරුන් වහන්සේ ද දඹදිව ශ්‍රී මහ බෝධීන් වහන්සේ ළං කරගෙන මෙහි සිටම වන්දනා කළ බව කියා තිබේ.

සමීපය දුර කිරීම තථාගතයන් වහන්සේ විසින් අංගුලිමාල දමනයේ දී කර තිබේ. උන්වහන්සේ ඍද්ධිබලයෙන් සමීපය දුර කළ බැවින් අංගුලිමාල හට හති වැටෙන තුරු දුව ද තථාගතයන් වහන්සේට ළං විය නො හැකි විය.

මහකසුප් තෙරුන් වහන්සේ බොහෝ වූ දෙය ස්වල්ප කළහ. රජගහනුවර නැකැත් කෙළියක් පවත්නා දිනයක පන්සියයක් කුමාරිකාවෝ කැවුම් ද ගෙන නැකැත් කෙළියට යන්නෝ තථාගතයන් වහන්සේ පිඬු සිඟා වඩිනු දැක ද කිසිවක් නුදුන්නෝ ය. පසුව වඩනා මහාකසුප් තෙරුන් වහන්සේ දැක “අපේ හාමුදුරුවෝ වඩිති”යි සැම දෙනාම කැවුම් ගෙන උන්වහන්සේ වෙත ගියෝ ය. තෙරුන් වහන්සේ, පන්සිය දෙනෙකුන් විසින් දෙන බොහෝ වූ කැවුම් ස්වල්ප කොට තමන් වහන්සේගේ පාත්‍රයෙන් පිළිගත්හ. පන්සිය දෙනකුන් දුන් කැවුම් සියල්ල එක් පාත්‍රයක් විය. තෙරුන් වහන්සේ කැවුම් පාත්‍රය තථාගතයන් වහන්සේට පිළිගැන්වූහ.

මුගලන් මහතෙරුන් වහන්සේ විසින් රජගහ නුවර සමීපයේ සක්ඛර නම් නියම්ගම මච්ඡරිය කෝසිය නමැති සිටු දමනය කිරීමේදී ද කුඩා දෙය මහත් කිරීමේ ප්‍රාතිහාර්‍ය්‍යය කර තිබේ. සිටුවරයා කුඩා කොට පිසවන කැවුම් උන්වහන්සේ සෘද්ධිබලයෙන් මහත් කළහ. විස්තර කථාව ජාතක අටුවාවේ ඉල්ලීස ජාතකයෙන් දත හැකිය. මහකසුප් තෙරුන් වහන්සේ සතියක් නිරෝධසමාපත්තියට සම වැඳී සිට ඉන් නැඟිට දිළින්දෙකුට සංග්‍රහ කරනු පිණිස කාකවලිය නම් දුගියකුගේ ගෙදොර පිඬු පිණිස සිටි සේක. ඔහුගේ බිරිය සැමියා උදෙසා පිළියෙළ කර තිබූ ඇඹුල්කැඳ තෙරුන් වහන්සේට පිළිගැන්වූවාය. තෙරුන් වහන්සේ කැඳ පාත්‍රය ගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේ අතට පිළිගැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් ඒ කැඳ පාත්‍රය මහා භික්ෂු සංඝයාට ප්‍රමාණවත් වන පරිදි වැඩි කළහ. කැඳ පාත්‍රය සියලු භික්ෂු සංඝයාහට සෑහිණ.

සෘද්ධිමතුන්ට ඕනෑම දෙයක් රන් රිදී, මුතු, මැණික්, තෙල්, ගිතෙල්, මී, සකුරු ආදි කැමති දෙයකට පරිවර්තනය කළ හැකි ය. පිලින්දිවච්ඡ තෙරණුවෝ ඒ ප්‍රාතිහාර්‍ය්‍යය කළහ. උන්වහන්සේ දැරියකගේ හිස තණදරණුවක් පළඳවා එය රන්මල් මාලාවක් කළහ. බිම්සර රජුගේ මාලිගාවද රත්තරන් කළහ. විස්තර කථා පාරාජිකා පාළියේ භේසජ්ජ ශික්ෂාපද නිදානයෙන් දත යුතුය. මහාඅනුල නම් සෘද්ධිමත් තෙරනමක් ව්‍යඤ්ජන නැතිව බත් පමණක් පිඬු සිඟා ලැබ ගංඉවුරක හිඳ වළඳන භික්ෂු පිරිසක් දැක ගඟදිය ගිතෙල් කොට සාමණේරයන්ට දැන්වීය. ඔවුහු ගඟින් භාජනවලට ගිතෙල් ගෙන දුන්හ. සැමදෙනා වහන්සේ ම එදා ඍද්ධි බලයෙන් නිර්මිත ගිතෙල් හා ආහාර වැළඳූහ.

සෘද්ධිමතුන්ට තමන්ගේ ශරීරයෙන් ගිනිදැල් පිට කිරීම, දුම් පිට කිරීම, ජලය පිට කිරීම, බරදෙය සැහැල්ලු කොට ගෙන යාම, වැසි සුළං ඇති කිරීම ආදි නොයෙක් දේ කළ හැකිය. මහක තෙරුන් වහන්සේගේ පුදුම ප්‍රාතිහාර්‍ය්‍යයක් සංයුත්තනිකායේ චිත්තසංයුත්තයේ සඳහන් වේ. මහක තෙරුන් වහන්සේ මච්ඡිකාසණ්ඩ නම් ගමට පැමිණි කල්හි එහි වෙසෙන චිත්ත නම් ගෘහපතියා යම්කිසි සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍යයක් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. “එසේ නම් ගෘහපතිය, ඔබගේ උතුරුසළුව මේ පිළෙහි එලා එය මත වියළි තණ ගොඩ ගසන්නය”යි තෙරුන් වහන්සේ වදාළහ. චිත්තගෘහපති උන්වහන්සේ කී පරිදි කෙළේය. තෙරුන් වහන්සේ විහාරයට පිවිස දොර වසා ගෙන යතුරු සිදුරෙන් ගිනි රොටුවක් යවා තණවලට ගිනි දැල්වූහ. තණ ගින්නෙන් දැවී අලූවිය. කිසිවක් නොවී උතුරුසළුව ඉතිරි විය. ගෘහපති උතුරුසළුව ගසා දමා ගෙන මහත් පුදුමයට පැමිණ, “ස්වාමීනි, නුඹ වහන්සේ මේ මච්ඡිකාසණ්ඩයෙහි ම වැඩ වෙසෙන සේක්වා, මම නුඹ වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යයන් සපයමි”යි කීය. “ගෘහපතිය, ඔබ යහපතක් කියන්නෙහිය”යි තෙරුන් වහන්සේ වදාළහ. උන්වහන්සේ සෙනසුන තැන්පත් කොට පාසිවුරු ගෙන මච්ඡිකාසණ්ඩයෙන් පිටත්ව ගියහ. නැවත කිසිවිටෙක මච්ඡිකාසණ්ඩයට නො පැමිණියහ. පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් වහන්සේ තුන්ගව් පමණ ඇති මහ කළුගලක් පුළුන් පිඬක් සේ කොට පයින් ගෙන රජගහනුවර අහසෙහි සත්වරක් සිසාරා ගිය බව දම්පියාටුවාවෙහි යමක ප්‍රාතිහාර්‍ය්‍ය වස්තුවෙහි දැක්වේ.

තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ පුද්ගලයන් දමනය කරනු පිණිස කරන ලද බොහෝ ගණනක් ප්‍රාතිහාර්‍ය්‍යයන් බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් ව ඇත්තේය. ඒවායින් උසස් ම ප්‍රාතිහාර්‍ය්‍යය යමක ප්‍රාතිහාර්‍ය්‍යය ය. එනම් එකවර ශරීරයෙන් ගිනි දිය දෙකම නිකුත් කිරීමය. එය බුදුවරුන්ට මුත් ශ්‍රාවකයන් විසින් කළ නොහෙන ප්‍රාතිහාර්‍ය්‍යයකි. භාග්‍යවතුන් වහන්සේ විසින් බුදුව සත්වන දිනයෙහි දෙවියන්ගේ සැක දුරුකරනු පිණිස බෝධිය සමීපයේදී අහසට පැනනැඟ යමකප්‍රාතිහාර්‍ය්‍යය කළ බවත්, ඥාතීන් දමනය කරනු පිණිස වරක් එය කළ බවත්, තීර්ථකයන් දමනය කිරීමට වරක් එය කළ බවත් ග්‍රන්ථයන්හි සඳහන්ව ඇත්තේය.

සෘද්ධිමතුන්ට කය, චිත්තගතික කොට වක් කළ අතක් දිගු කරන්නාක් මෙන් සැණෙකින් බ්‍රහ්ම ලෝකයට වුව ද යා හැකි ය. චිත්තය කායගතික කොට සෙමින් දෘශ්‍යමාන කයින් ද කැමති තැනකට යා හැකිය. දිව්‍යබ්‍රහ්ම ලෝකවල නො පෙනී ගොස් සිට රූපයක් නිර්මාණය කොට ඒ රූපයෙන් දෙවියන් හා කථා කළ හැකිය. තමන්ගේ රුපයෙන් ම ද සිට කතා කළ හැකිය. අන්‍ය සත්ත්වයන් මැරෙන උපදින නමුත් මෙහි මරණයක් උපතක් නැත, “මේ ලෝකය නිත්‍ය ය, මෙයට උසස් තැනක් නැත” කියා මිථ්‍යාදෘෂ්ටිය ගෙන සිටි බක නම් බ්‍රහ්මයකු දමනය කිරීම පිණිස තථාගතයන් වහන්සේ එහි වැඩම කොට ඔවුන් ඉදිරියේ පෙනී සිට සාකච්ඡා කළහ. එහි ම නො පෙනී සිට ඔවුනට ඇසෙන සේ :-

“භවෙචාහං භයං දිස්වා
භවඤ්ච විභවෙසිනං
භවං නාභිවදිං කිඤ්චී
නන්දිඤ්ච න උපාදියිං”

(මජ්ඣිම නිකාය බ්‍රහ්මනිමන්තනික සුත්ත)

යන ගාථාව ද වදාළ සේක.

ශිඛී බුදුරදුන්ගේ අභිභූ නම් ශ්‍රාවකයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට ගොස් බ්‍රහ්මයනට පෙනෙමින් ද නො පෙනෙමින් ද කයින් අඩක් පෙනෙන සේ ද සිට දහම් දෙසූහ. උන්වහන්සේ ඒ බ්‍රහ්මලෝකයෙහි සිට,

“ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ,
ධුනාථ මච්චුනො සෙනං නළාගාරං ව කුඤ්ජරො
යො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තො විහෙස්සති,
පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති”

(සංයුත්ත නිකාය බ්‍රහ්මසංයුත්ත)

යන ගාථා දහසක් සක්වලට ඇසෙන සේ දේශනය කළහ.

කුමාරවේශ - රාජවේශ - දේවවේශ - ශක්‍රවේශ -නාගවේශ - සුපර්ණවේශාදි නොයෙක් වෙස් ද සෘද්ධිමතුන්ට ගත හැකිය. හස්ති අස්ව ගවාදි නොයෙක් සත්ත්වරූප හා ගංගා - සමුද්‍ර - වෘක්ෂ - පර්වතාදිය ද නිර්මාණය කළ හැකිය. මුගලන් මහ තෙරුන් වහන්සේ නන්දෝපනන්ද දමනයේදී නාගවේශය හා ගුරුළු වේශය ගත් බව කියා තිබේ.

මෙතෙකින් දක්වන ලද ප්‍රාතිහාර්‍ය්‍යයන් සිදු කිරීමට සමත් චතුර්ථධ්‍යාන සම්ප්‍රයුත්ත ඥානය සෘද්ධිවිධඥාන නම් වූ විද්‍යාව ය.

අෂ්ටසමාපත්ති විෂයෙහි වශීභාවය ඇති කර ගෙන සිත පිරිසිදු බවට, මෘදුබවට, කර්මණ්‍යබවට පමුණුවා ගෙන ඇති “සෘද්ධිමත් පුද්ගලයා හට තමාගේ ඒ ශුද්ධචිත්තය ශබ්දයන් ඇසීමට යොමු කළ කල්හි අපේ කන්වලට නො ඇසෙන ඉතා සියුම් ශබ්ද ද ඒ සිතට දැනෙන්නේ ය. දුර ශබ්ද ද ඉතා දුර වූ දෙව්ලොව බඹලොව පරසක්වළ ශබ්ද ද ළඟසිට අසන්නාක් මෙන් පිරිසිදු ලෙස දැනෙන්නේය. පියවි කනට නොඇසෙන සියුම් වූ ද, දුර වූ ද ශබ්දයන් ඇසීමට සමත් වන ධ්‍යානලාභීන්ගේ චතුර්ථධ්‍යාන ප්‍රඥාව දිව්‍යශ්‍රෝත්‍රඥාන නම් වූ විද්‍යාව ය.

බලවත් කුශලකර්මයෙන් උපන් දෙවියන්ගේ කන්වලට ඒවා ඉතා යහපත් බැවින් මිනිස් කන්වලට නොඇසෙන ශබ්ද ඇසෙන්නේය. මේ ඥානය දිව කනක් වැනි බැවින් එයට දිව්‍යශ්‍රෝත්‍රඥාන යන නම ව්‍යවහාර කරනු ලැබේ.

ධ්‍යාන ලබා සිත පිරිසිදු කරගත් පුද්ගලයාගේ ඒ යහපත් සිත අනුන්ගේ සිත් අනුන්ගේ සිත් දැන ගැනීම සඳහා පරසන්තානයට යොමු කළ කල්හි ඔහුගේ සිතට අනුන්ගේ සිත් දැනෙන්නට වන්නේ ය. අනුන් සිතන දෙය ඔහුට කිය හැකි වන්නේ ය. සාරාගචිත්ත - වීතරාගචිත්ත - සදෝසචිත්ත - වීතදෝසචිත්ත - සමෝහ චිත්ත - වීතමෝහචිත්තාදි වශයෙන් සොළොස් ආකාරයකින් ඒ ඥානය ඇතියන්ට පර සිත් දත හැකි වන්නේය. අනුන්ගේ සිත් දක්නා වූ ඒ නුවණ පරචිත්තවිජානනඥාන නම් වූ විද්‍යාව ය.

පූර්වේනිවාසානුස්මෘතිඥානය, දිව්‍යංචක්ෂුරභිඥාව, ආශ්‍රවක්ෂයකරඥානය යන විද්‍යා තුන ත්‍රිවිද්‍යාව වශයෙන් කලින් විස්තර කරන ලදී. ඒ තුන ද සමඟ විද්‍යා අටක් වේ. ඇතැම් බුද්ධශ්‍රාවකයෝ ද ඒ අෂ්ට විද්‍යාවෙන් යුක්ත වෙති. තථාගතයන් වහන්සේ ඉතා උසස් ලෙසින් අෂ්ටවිද්‍යාවෙන් යුක්ත වෙති.

චරණ ධර්ම

චරණය උසස් බුද්ධගුණයක් වුව ද ලොවුතුරා බුදු වරුන්ගේ චරණ මේය යි දක්වා ඇති සූත්‍රයක් දක්නට නැත. බොහෝ සූත්‍රවල ශ්‍රාවකයන්ගේ වශයෙන් චරණධර්ම දේශනය කර තිබෙනු දක්නා ලැබේ. එහෙත් ඒ ධර්ම චරණ යන නාමයෙන් දක්නා ලැබෙන්නේ මජ්ඣිමනිකායේ මජ්ඣිමපණ්ණාසකයේ සේඛසූත්‍රයෙහි හා දීඝනිකායේ අම්බට්ඨසූත්‍රයෙහිත් ය. සේඛසූත්‍රයෙහි චරණ නාමයෙන් ධර්ම පසළොසක් දක්වා තිබේ. අම්බට්ඨසූත්‍රයෙහි චරණ නාමයෙන් ධර්ම නමයක් දක්වා තිබේ.

ශාක්‍ය රට කපිලවස්තු පුරයේ ශාක්‍යයෝ රැස්වීම් ශාලාවක් කරවා එය පළමුවෙන් ම බුදුරජාණන් වහන්සේ ලවා පරිභෝග කරවන රිසියෙන් එහි වැඩම කොට එය පරිභෝග කරන ලෙස බුදුරදුන්ට ආරාධනා කළෝ ය. තථාගතයන් වහන්සේ ඔවුන්ගේ ආරාධනාව පිළිගෙන මැනවින් සරසා තුබූ ඒ ශාලාවට භික්ෂුසංඝයා සමඟ වැඩම කොට එහි මැද කණුව සමීපයේ නැගෙනහිර දෙසට මුහුණ ලා වැඩහුන් සේක. භික්ෂුසංඝයා වහන්සේ ද පා සෝදා ශාලාවට ඇතුළුව පසු පස භිත්තිය අයින දිගට නැගෙනහිරට මුහුණ ලා තථාගතයන් වහන්සේ පෙරටුකොට වැඩහුන්හ. කපිලවස්තුපුරයේ ශාක්‍යයෝ ශාලාවට පිවිස නැගෙනහිර බිත්තියට පිට ලා භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට හුන්හ. භාග්‍යවතුන් වහන්සේ බොහෝ රෑ වන තෙක් ඔවුනට දහම් දෙසා සතුටු කරවා ආනන්ද ස්ථවිරයන් වහන්සේ අමතා “ආනන්දය මාගේ පිට රිදෙන්නේය, මම මඳක් විවේක ගන්නෙමි, එතෙක් මේ ශාක්‍යයනට සේඛපටිපදාව දේශනා කරන්නය”යි වදාරා උන්වහන්සේ පනවන ලද ශයනය මත මඳක් ශයනය කළ සේක.

පෘථග්ජන ද නො වූ අර්හත්ඵලයට ද පැමිණ නැති ඒ අතර සිටින පුද්ගලයෝ සේඛ නම් වෙති. ඔවුන් විසින් මතු මතු මාර්ගඵලවලට පැමිණීම සඳහා පිරිය යුතු ප්‍රතිපත්තික්‍රමය සේඛපටිපදා නමි. තථාගතයන් වහන්සේ ඒ මංගල දිනයේ සේඛපටිපදාව දේශනය කරන්නට නියම කළේ මේ බුදු සසුනෙහි එය මංගල ධර්මයක් නිසාත්, ඒ පිරිසෙහි ශෛක්ෂයන් සිටි නිසාත් ය. ආනන්දස්ථවිරයන් වහන්සේ ඒ පිරිසෙහි ප්‍රමුඛයා වන මහානාම ශාක්‍යයා අමතා චරණධර්ම පසළොසත් ත්‍රිවිද්‍යාවත් දේශනය කළහ. දේශනයෙන් පසු තථාගතයන් වහන්සෙ නැගිට “සාධු සාධු ආනන්ද, සාධු ඛො ත්වං ආනන්ද කාපිලවත්ථවානං සාක්‍යානං සෙඛපටිපදං අභාසි” යනු වදාරා ආනන්දස්ථවිරයන් වහන්සේට සාධුකාර දී දේශනය අනුමත කළ සේක. එයින් ආනන්දස්ථවිරයන් වහන්සේගේ දේශනය බුද්ධභාෂිතයට සමාන විය. බුද්ධභාෂිතයට ඇතුළු විය.

“යම්පි මහානාම අරියසාවකො සීලසම්පන්නො හොති, ඉදම්පිස්ස හොති චරණස්මිං, යම්පි මහානාම අරියසාවකො ඉන්ද්‍රියයෙසු ගුත්තද්වාරො හොති ඉදම්පිස්ස හොති චරණස්මිං, යම්පි මහානාම අරියසාවකො ජාගරියං අනුයුත්තො හොති ඉදම්පිස්ස හොති චරණස්මිං, යම්පි මහානාම අරියසාවකො සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති ඉදම්පිස්ස හොති චරණස්මිං, යම්පි මහානාම අරියසාවකො චතුන්නං ඣානානං අභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරනං නිකාමලාභි හොති අකිච්ඡලාභී අකසිරලාභී ඉදම්පිස්ස හොති චරණස්මිං”

(සෙඛසුත්ත ම.නි.)

මේ පාඨයෙන් චරණ නාමයෙන් ධර්ම පසළොසක් දක්වා තිබේ. ඒ ධර්මයෝ නම්:

  1. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය,
  2. ඉන්ද්‍රිය සංවරය,
  3. භෝජනයෙහි මාත්‍රඥතාව,
  4. ජාගරියානුයෝගය,
  5. ශ්‍රද්ධාව,
  6. හිරිය,
  7. ඔත්තප්පය,
  8. බහුශ්‍රැතභාවය,
  9. වීර්‍ය්‍ය,
  10. ස්මෘතිය,
  11. ප්‍රඥාව,
  12. ප්‍රථමධ්‍යානය,
  13. ද්විතීයධ්‍යානය,
  14. තෘතීයධ්‍යානය,
  15. චතූර්ධ්‍යානය,

යන මොහුය.

මේ චරණ ධර්ම පසළොස දේශනය කර තිබෙන්නේ වර්තමාන භවයේදී ම හෝ නොහැකි වුව හොත් දෙවන තුන්වන භවයකදී හෝ මගඵල ලබා නිවන් දක්නා බලාපොරොත්තුවෙන් වීර්ය කරන කල්‍යාණ පාථග්ජන පැවිද්දන්ගේ හා ශෛක්ෂපුද්ගලයන්ගේ වශයෙනි. මේ දේශනය කරන ලද්දේ ගිහි පිරිසකටය. ඒ අනුව මේ ප්‍රතිපත්ති ක්‍රමය ගිහියන්ට ද සාධාරණ බව කිය යුතුය. ගිහියන් විසින් මේ ප්‍රතිපත්ති ගිහි ජීවිතයට සුදුසු සේ පැවැත්විය හැකිය. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පැමිණියේ ද මේ ප්‍රතිපත්තිමාර්ගයෙන් ම ය. උන්වහන්සේ කෙරෙහි මේ ධර්ම උසස් ලෙස ඇත්තේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ චරණ සම්පන්න වන සේක.

චරණධර්මයන්ගෙන් පළමුවැන්න ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය. ලොවුතුරා බුදුවරුන්ගේ ශීලය වශයෙන් කිය යුත්තේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි චූලසීල - මජ්ඣිමසීල - මහාසීල යන නම් වලින් දක්වා ඇති ශීලය ය. තථාගතයන් වහන්සේගේ ඒ ශීලය කිලිටි වන්නේ හෝ බිඳෙන්නේ හෝ නොවේ. උන්වහන්සේ හැම කල්හි සුපරිශුද්ධ ශීලයෙන් යුක්ත වන සේක. ඒ ශීල තුනම ශ්‍රාමාණ්‍යඵල සූත්‍රාදියෙහි ශ්‍රාවකයන්ගේ ශීලය වශයෙන් ද වදාරා තිබේ. විනය සිකපද පනවන්නට කලින් ශ්‍රාවකයන්ට තිබූ ශීලය එය ය. විනය සිකපද පැනවීමෙන් ඒ ශීලය වඩාත් පුළුල් කර තිබේ. ඇතැම් තැන් විනයෙහිදී ලිහිල් ව ඇති බව ද කිය යුතුය. විනය ක්‍රමයෙන් කියත හොත් සප්තාපත්තිස්කන්ධයන් නො ඉක්වීම ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය යි කිය යුතුය. ශීලය සම්පූර්ණ කරන තැනැත්තා විසින් ආචාරගෝචර සම්පන්න ද විය යුතුය. ගෘහස්ථ ශ්‍රාවකයන් විසින් ආජීවාෂ්ටමකශීල පඤ්චශීල අෂ්ටාංගශීල දශශීලයන්හි පිහිටීමෙන් චරණ සම්පත්තිය ඇති කර ගත යුතුය.

ඉන්ද්‍රීයසංවරය දෙවන චරණය ය. චක්ඛුන්ද්‍රිය- සෝතින්ද්‍රිය - ඝාණින්ද්‍රිය - ජිව්හින්ද්‍රිය- කායින්ද්‍රිය - මනින්ද්‍රිය කියා ඉන්ද්‍රිය සයක් ඇත්තේය. ඒවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය ධර්ම යන අරමුණු චිත්තසන්තානයට ඇතුළු වන ද්වාරයෝ ය. සත්ත්වයන් විසින් පිටත ඇති රූපාදි ආරම්මණයක් සිතට ගන්නා ද්වාරයෝය. ඇස ඇති නම්, රූප ඇති නම්, ඇසට රූපයන් පැමිණීම, චක්ෂුරියන්ද්‍රිය නමැති දොරටුවෙන් චිත්තසන්තානයට රූපයක් ඇතුළු වීම නො වැළැක්විය හැකි කරුණකි. ශ්‍රෝතාදි ඉන්ද්‍රියයන් ගැනද එසේම කිය යුතු ය. සම්මා සතිය යි කියන යහපත් සිහියෙන් තොර ව වාසය කරන්නාගේ සිතට ඇස නමැති දොරටුවෙන් රූපයන් පිවිසි කල්හි ඒ රූපය හොඳ එකක් වී නම් මේ දෙය, මේ පුද්ගලයා ලස්සන ය, හොඳ ය කියා තණ්හාව ඇති වේ. රාගය ඇති වේ. සිතට පිවිසි රූපය නොමනා නම් මේ දෙය මේ පුද්ගලයා කැතය නරක කියා ඒ රූපය ගැන ද්වේශය ඇති වේ. දුටු රූපය ලස්සනය හොඳය කියා තණ්හාව ඇති වූ තැනැත්තාට ඒ තණ්හාව නිසා අකුසල චිත්ත පරම්පරාවක් ඇති වේ. සමහර විට අකුසල ක්‍රියා පරම්පරාවක් ද ඇති වේ. දුටු දෙය දුටු පුද්ගලයා, කැතය, නරකය කියා ද්වේශය ඇති වූ තැනැත්තාට ද ඒ ද්වේශය නිසා අකුසල චිත්ත පරම්පරාවක් ඇති වේ. සමහර විට අකුසල ක්‍රියා පරම්පරාවක් ඇති වේ. ශ්‍රෝත්‍රාදි ද්වාර ගැනද එසේ ම කිය යුතුය. පුද්ගලයා සිහියෙන් යුක්ත වුවහොත් සිතට පිවිසෙන අරමුණ සම්බන්ධයෙන් අකුසල චිත්ත පරම්පරාවක් ඇති නොවේ. ෂට්ද්වාරයෙන් ගැනෙන අරමුණු සම්බන්ධයෙන් අභිද්‍යාව්‍යාපාදාදි අකුශලයන් ඇති නොවන සැටියට පරෙස්සම් වීම ඉන්ද්‍රියසංවරය ය. අකුශලයන් ඇති නො වන ලෙස ඉන්ද්‍රියයන් වසන පියන, සිහිය ය. ඉන්ද්‍රිය සංවරය නැතියවුන්ට නිතර ම අකුශලධර්ම ඇති වන බැවින් පෘථග්ජන භාවයෙන් නො නැඟිය හැකි ය. නිවනට ළං විය නො හැකි ය. තථාගතයන් වහන්සේට උසස් සිහියක් ඇත්තේ ය. උන්වහන්සේ සෑම කල්හි සිහියෙන් යුක්ත වන්නාහ. එහෙයින් -

“තථාගතස්ස බුද්ධස්ස - සබ්බභූතානුකම්පිනො,
තස්සච්චයා න විජ්ජන්ති - තස්ස නත්ථි අපාගතං,
සො න සම්මොහමාපාදි - සොධ ධීරො සදා සතො”

(සංයුත්ත නිකාය 13)

යනු වදාරන ලදී. “සකල සත්ත්වයනට අනුකම්පා කරන්නා වූ ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය ඉක්මවා හැසිරීමක් නැත, අපරාධයක් නැත, ඒ භාග්‍යවතුන් වහන්සේ මුළා නොවන්නාහ. සෑම කල්හි සිහියෙන් යුක්ත වන්නාහ” යනු එහි තේරුම ය.

භෝජනයෙහි මාත්‍රඥතාව යනු නුවණින් කරුණු සළකා ආහාර ගැනීම හා පමණ නො ඉක්මවා ආහාර ගැනීම ය. ගම්දරුවෝ සාගින්න නැත ද ආහාරයක් ලද හොත් විනෝදය පිණිස වළඳති. ඇතැම්හු ඤාතිමිත්‍රයන් හමු වූ විට ඔවුන් හා එක්ව විනෝදය පිණිස ආහාර ගනිති. මඟපල ලැබීමට පිළිවෙත් පුරන නිවන් සොයන සත්පුරුෂයා විසින් විනෝදය පිණිස ආහාර ගැනීම නො කළ යුතුය. ඇතැම්හු මල්ලවාදීන් මෙන් කායබලය වැඩි කරගනු පිණිස ආහාර වළඳති. එසේ කාය බල වඩනු පිණිස මද වඩනු පිණිස ආහාර නොවැළඳිය යුතුය. ඇතැම්හු ශරීරයේ අංගප්‍රත්‍යංගයන් තර කර ගැනීම සඳහා, ලේ මස් වැඩි කර ගැනීම සඳහා සුදුසු ආහාර සොයා වළඳති, එසේ ද අහර නො වැළඳිය යුතු ය. ඇතැම්හු ශරීරයේ පැහැය හොඳ කර ගැනීම පිණිස වැඩි කර ගැනීම පිණිස සුදුසු අහර සොයා වළඳති. එසේ ද ආහාර නො වැළඳිය යුතු ය. ආහාරයේ ප්‍රයෝජනය සලකා ආහාර ගැනීම කළ යුතු ය. මේ කය පවතිනු පිණිස ආහාර ගත යුතුය. දිවි නොනැසෙන පිණිස ආහාර ගත යුතු ය. පීඩා දුරු කර ගනු පිණිස ආහාර වැළඳිය යුතුය. ත්‍රිශික්ෂා සංඛ්‍යාත ශාසන ප්‍රතිපත්තිය පිරිය හැකි වීම පිණිස ආහාර වැළඳිය යුතුය. උපන් සාගිනි නැති කර ගැනීම පිණිස හා සාගින්න ඇති නොවීම පිණිස ආහාර ගත යුතුය. ශරීරය හා ජීවිතය චිරකාලයක් පවතිනු පිණිස අහර වැළඳිය යුතු ය.

ලෝකයේ කෙරෙන පව්කම්වලින් වැඩිහරියක් කෙරෙන්නේ ආහාර නිසාය. ආහාරය නිසා රාගාදි ක්ලේශයෝ ද වැඩෙති. කියන ලද පරිදි නුවණින් කරුණු සලකා අහර වළඳන්නහු අතින් ආහාර සෙවීම් ආදිය සම්බන්ධයෙන් සෙස්සන් කරන නොයෙක් පව්කම් නොකරෙන්නේය. රාගාදි කෙලෙස් නො වැඩෙන්නේය. ඔහු නිවැරදි ලෙස අහර වළඳන්නෙක් වන්නේ ය. දැහැමින් ලද ආහාරය වුවද නුවණින් තොරව තණ්හාවෙන් වළඳන්නහුට පමණට වඩා අහර ගැනීමෙන් වන්නා වූ ද, අපථ්‍යාහාර ගැනීමෙන් වන්නා වූ ද නොයෙක් රෝගයෝ හටගනිත්, නුවණින් අහර වළඳන්නහුට රෝගයන්ගෙන් තොරව සුවසේ ජීවත් විය හැකි වන්නේය. සුවසේ ත්‍රිශික්ෂා පරිපූරණය කළ හැකි වන්නේ ය. එබැවින් භෝජනයෙහි මාත්‍රාඥතාව චරණ ධර්මයක් වේ. පැවිද්දන් විසින් විශේෂයෙන් භෝජනයෙහි මාත්‍රාඥ විය යුතු ය. ගිහියන්ට ද එසේ වීම සුදුසු ය. ආහාර තණ්හාව ඇතුළු සකල තෘෂ්ණාවෙන් ම සහමුලින් නසා සිටින තථාගතයන් වහන්සේ මේ ගුණයෙන් අනූන බව අමුතුවෙන් කිය යුත්තක් නොවේ.

ජාගරියානුයෝග යනු නො නිදා සිටීමෙහි යෙදීම ය. තිරිසන් සත්ත්වයෝ ද නොයෙක් විට අවදිව සිටිති. මෙහි ජාගරියානුයෝග යනුවෙන් අදහස් කරන්නේ අවදිව සිටීම් මාත්‍රය නොව, නො නිදා කාමච්ඡන්දාදි නීවරණයන්ගෙන් සිත පිරිසිදු කිරීම ය. එනම්, ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම ය. උපන් නීවරණයට සිතෙහි පවත්නට නොදී එය වහා සිතින් බැහැර කීරීමය. ජාගරියානුයෝගය පුරන ආර්‍ය්‍යශ්‍රාවකයෝ ද කල්‍යාණ පෘථග්ජනයෝ ද හිඳීම සක්මන යන ඉරියව් දෙකින් භාවනාවෙහි යෙදෙමින් සිත පිරිසිදු කරමින් දවල් කාලය ගත කරති. රාත්‍රියේ ප්‍රථම යාමයත් එසේ ම ගත කරති. රාත්‍රියේ මධ්‍යම යාමයේ දකුණු ඇලයට හැරී එක් පයක් මත අනික් පය මඳක් ඉඳිරියට කොට තබා සිහියෙන් යුක්තව වෙලාවට අවඳිවීමේ සංඥාව ඇති ව සිංහශෙය්‍යාවෙන් සයනය කෙරෙති. පශ්චිම යාමයෙහි අවදිව සිත පිරිසිදු කෙරෙති. එසේ පිළිපැදීම ජාගරියානුයෝග නම් වේ. මහාබෝධිසත්ත්වයන් වහන්සේ ජාගරියානුයෝගයෙන් ලොවුතුරා බුදුබවට පැමිණියහ. බෝධි මූලයේදී අර්හන්මාර්ගඥාණයෙන් ක්ලේශයන් නසා මතු කිසිකලෙක කිලිටි නොවන පරිදි සිත පිරිසිදු කර ගත් භාග්‍යවතුන් වහන්සේට සිත පිරිසිදු කිරීමට ය කියා කළ යුත්තක් නැත. එහෙත් උන්වහන්සේ තමන් වහන්සේට ඉදිරියට කළ යුත්තක් නැත කියා නිකම්ම කල් නො ගෙවන සේක. උන්වහන්සේ බුදුවීමෙන් පසු ද සෙස්සන්ට වඩා අවදිව සිටින සේක. ඒ බව දැන ගැනීමට තථාගත දිනචර්‍ය්‍යාව දක්වනු ලැබේ. ඒ මෙසේය:-

තථාගත දින චරියාව

භාග්‍යවතුන් වහන්සේ අලුයම නැඟිට ශරීරයට පහසුව පිණිසත් උපස්ථායකයනට අනුග්‍රහ පිණිසත් මුඛාධෝවනාදි ශරීර පරිකර්මයන් කොට පිඬු පිණිස වඩනා කාලය පැමිණෙන තුරු විවේකාසනයෙක්හි වැඩ සිටි කාලය පැමිණි කල්හි අඳනය හැඳ පටිය බැඳ සඟළසිවුර පොරවා පාත්‍රය ගෙන ඇතැම් දිනක හුදකලාව ද ඇතැම් දිනක භික්ෂුසංඝයා පිරිවරා ගෙනද, නගරයට හෝ ගමකට පිඬු පිණිස පිවිසෙති. ඇතැම් දිනක සාමාන්‍ය පිණ්ඩපාතික භික්ෂුවක් මෙන් ද ඇතැම් දිනක මහත් වූ ප්‍රාතිහාර්‍ය්‍යයෙන් ද පිඬු පිණිස වඩිති. ප්‍රාතිහාර්‍ය්‍යයෙන් වඩනා කල්හි හමා යන සුළඟින් උන් වහන්සේ වඩනා මඟ පිරිසිදු වෙයි. වළාකුළු වැසි පොද හෙළා මඟ දූවිලි නැති කෙරෙයි. අහසෙහි වියනක් සේ සැදී හිරු රැස් අවරණය කෙරෙයි. තවත් වාතයෝ මඟ මල් විසුරවති. උස්තැන් මිටිව මිටිතැන් උස්ව පොළොව සමතලා වෙයි. ලෝක නාථයන් වහන්සේ පා තබන තන්හි පොළොව මොළොක් ව සුවපහස් දෙන්නේ වෙයි. පියුම් හෝ පැන නැගී පා පිළිගනී. තථාගතයන් වහන්සේ ගමට පා තබනු සමඟ ම උන් වහන්සේගේ ශරීරයෙන් සවණක් බුදුරැස් විහිද රන්රස වගුරවන්නාක් මෙන් නානාවර්ණ වස්ත්‍රයෙන් වසන්නාක් මෙන් ගෙවල් ආදිය අලංකාර කෙරෙමින් ඔබ මොබ යන්නට පටන් ගනී. හස්ති අශ්වාදීහු හඬ නඟති. බෙර වීණා ආදියෙන් ඉබේ ම හඬ නඟින්නට පටන් ගනී. මිනිසුන් පළන් අබරණවලින් හඬ නික්මෙන්නට වේ. ඒ ලකුණු වලින් තථාගතයන් වහන්සේ වඩනා බව මිනිස්සු දැන ගනිති. ඔවුහු මැනවින් හැඳ පැළඳ සුවඳ මල් ආදිය ගෙන වීදිවලට බසිති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේට සුවඳින් මලින් පුදා වැඳ අපට දසනමෙක, අපට විසිනමෙක යනාදීන් කියා තථාගතයන් වහන්සේගෙන් භික්ෂූන් ලබාගෙන භාග්‍යවතුන් වහන්සේගේ ද පාත්‍රය ගෙන තම තමන්ගේ නිවෙස්වල අසුන් පනවා වඩා හිඳුවා භික්ෂුසංඝයා සහිත තථාගතයන් වහන්සේට මැනවින් සත්කාර කෙරෙති. භාග්‍යවතුන් වහන්සේ වළදා අවසානයේ ඔවුන්ගේ සන්තාන බලා ඔවුනට සුදුසු පරිදි දහම් දෙසන්නාහ. දහම් අසා ඇතමෙක් සරණාගමනයෙහි පිහිටති. ඇතමෙක් පඤ්චශීලයෙහි පිහිටති. ඇතමෙක් සෝවාන් ඵලයෙහි ද ඇතමෙක් සකෘදාගාමි අනාගාමී ඵලවල ද පිහිටති. ඇතමෙක් පැවිදි ව අර්හත්ඵලයෙහි පිහිටති. මෙසේ ජනයාට අනුග්‍රහ කොට වෙහෙරට වැඩම කොට භික්ෂූන් වළදා අවසන් වන තුරු තථාගතයන් වහන්සේ මණ්ඩල මාලයේ පනවන ලද බුද්ධාසනයෙහි වැඩ හිඳින්නාහ. භික්ෂූන් වහන්සේ වළදා අවසන් බව උපස්ථායකයා විසින් බුදුරදුන්ට සැල කළ කල්හි උන්වහන්සේ ගඳකිළිය අබියස පනවන ලද අසුනෙහි වැඩහිඳ පා සෝදා ගඳකිළියේ පඩිය මත සිට-

“භික්ඛවෙ අප්පමාදෙන සම්පාදෙථ, දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං, දුල්ලභො මනුස්සත්තපටිලාභො, දුල්ලභා ඛණසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්ම සවණං”

යනුවෙන් “මහණෙනි, අප්‍රමාදයෙන් මහණදම් පුරව්, බුද්ධෝත්පාදය දුර්ලභ ය. මනුෂ්‍යත්වය දුර්ලභ ය. ක්ෂණ සම්පත්තිය දුර්ලභ ය. පැවිද්ද දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය”යි භික්ෂූන්ට අවවාද කෙරෙති. එහිදී ඇතැම් භික්ෂූහු කමටහන් අසති, භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ චර්‍ය්‍යානුකූලව කමටහන් දෙති. ඉක්බිති සැමදෙනා වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඳ තම තමන්ගේ තැන්වලට යෙති. ඇතමෙක් අරණ්‍ය වෘක්ෂ මූලාදියට යෙති. ඇතැම් සෘද්ධිමත් භික්ෂූහු දිව්‍ය ලෝකවලට ද යෙති. තථාගතයන් වහන්සේ ගඳකිළියට පිවිස මඳක් සැතපී විඩා සන්සිඳුවා නැඟිට දෙවනවර ලෝකය බලන්නාහ. තුන්වන වරට සවස් කාලයේ තථාගතයන් වහන්සේ වෙත දහම් ඇසීමට පැමිණෙන්නවුන් බලන්නාහ. ඔවුන් පැමිණි කල්හි තථාගතයන් වහන්සේ දම්සභාමණ්ඩපයට වැඩ වදාරා ඔවුනට සුදුසු පරිදි බණ වදාරා සුදුසු කල්හි ඔවුන් යවන්නාහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ධර්මාසනයෙන් නැඟී ජලස්නානය කරනු කැමති සේක් නම්, ස්නානය කරන තැනට වැඩම කොට ස්නානය කරන්නාහ. උපස්ථායකයා බුද්ධාසනය ගඳකිලි මිදුලෙහි පනවන්නේය. භාග්‍යවතුන් වහන්සේ ස්නානය කොට එහි වැඩසිටින්නාහ. එතැනට ද ඒ ඒ දිශාවලින් භික්ෂූහු පැමිණෙන්නාහ. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අසන්නාහ. ඇතැම්හු කමටහන් අසන්නාහ. ඇතැම්හු දහම් දෙසන්නට ඉල්ලන්නාහ. තථාගතයන් වහන්සේ ඔවුන්ගේ අදහස් සම්පූර්ණ කරමින් රාත්‍රියේ ප්‍රථමයාමය ඉක්මවන සේක.

ප්‍රථමයාමාවසානයේ තථාගතයන් වහන්සේ වෙතින් මිනිසුන් බැහැර වූ පසු රාත්‍රියේ මධ්‍යමයාමයේ උන්වහන්සේගෙන් නොයෙක් ප්‍රශ්න අසනු සඳහා නොයෙක් දිශාවලින් බොහෝ දෙවියෝ පැමිණෙන්නාහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳමින් මධ්‍යමයාමය ඉක්මවන සේක.

උදයේ පටන් වාඩිවෙමින් ම සිටියා වූ භාග්‍යවතුන් වහන්සේ එයින් වූ පීඩාව සන්සිඳවනු පිණිස රාත්‍රියේ පශ්චිමයාමයේ මුල් කොටසෙහි සක්මන් කරන්නාහ. දෙවන කොටසේදී ගඳකිළියට පිවිස සිහිනුවණින් යුක්ත ව සිංහශෙය්‍යාවෙන් ශයනය කරන සේක. තුන්වන කොටසෙහි නින්දෙන් අවදි ව වැඩ හිඳ පෙර බුදුවරුන්ගේ සසුන්වල දානශීලාදි වශයෙන් පින්කර ඇති පුද්ගලයන් දකිනු පිණිස ලොව බලා වදාරාන සේක. මේ තථාගතයන් වහන්සේගේ දිනචර්‍ය්‍යාව ය.

(බ්‍රහ්මජාලසුත්තට්ඨකථා)

තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ ශුද්ධිය පිණිස විමුක්තිය පිණිස කළ යුතු කිසිවක් නැත ද උන්වහන්සේ ශ්‍රාවකයන් නිදන මධ්‍යමයාමයේ ද අවදි ව පරාර්ථචර්‍ය්‍යාවෙහි යෙදෙන සේක. උන්වහන්සේ සැතපෙනුයේ රාත්‍රියෙන් සයෙන් කොටසක් පමණ වන සුළු කාලයේ ය. එබැවින් ජාගරියානුයෝග නමැති චරණය ශ්‍රාවකයන්ට වඩා උසස් ලෙසින් භාග්‍යවතුන් වහන්සේට ඇත්තේය.

“ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රැතතාව, වීර්‍ය්‍යය, ස්මෘතිය, ප්‍රඥාව යන මේ ධර්ම සත තථාගතයන් වහන්සේ විසින්,

“සත්තිමෙ භික්ඛවෙ සද්ධම්මා, කතමෙ සත්ත? සද්ධෝ හොති, හිරිමා හොති, ඔත්තප්පි හොති, බහුස්සුතො හොති, ආරද්ධවිරියො හොති, සතිමා හොති, පඤ්ඤවා හොති ඉමෙ ඛො භික්ඛවෙ සත්තසද්ධම්මා”

(අඞ්ගුත්තර සත්තක නිපාත)

යන සූත්‍රයෙහි සද්ධම්ම යන නාමයෙන් ද වදාරා තිබේ. එහි තේරුම, යහපත් ධර්ම සත්පුරුෂයන්ගේ ධර්ම යනුයි. ශ්‍රද්ධාදි ධර්ම සතට සප්තසද්ධර්මය යි කියනු ලැබේ. සප්තසද්ධර්මය චරණ සතකි.

ශ්‍රද්ධා යනු බුදුරදුන්ගේ සුබුද්ධත්වය, ධර්මයේ සුධර්මත්වය, සංඝයාගේ සුසංඝත්වය හා කර්ම-කර්මඵලාදිය පිළිගැනීම ය. දානාදි පින්කම්වල ඵලය විශ්වාස කොට පින් කරන්නා වූ පෘථග්ජනයන්ගේ ශ්‍රද්ධාව ඕකප්පන සද්ධා නම් වේ. ලෝකෝත්තර මාර්ගඥානයෙන් චතුස්සත්‍යයන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ඇති වන ආර්‍ය්‍යයන්ගේ ශ්‍රද්ධාව ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධා නමි. ඒ දෙකින් ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාව කවරාකාරයකිනුදු වෙනස් කළ නො හැකි ය. එය භවාන්තරයට පැමිණීමෙන් ද වෙනස් නො වේ. ශ්‍රද්ධාව නිවනට යාමට අත්‍යවශ්‍යාංගයකි. වෙනස් නො වන ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධා ඇති ආර්‍ය්‍යයෝ පහත නො වැටී පිළිවෙළින් මතු මතු මඟපල වලට පැමිණ අර්හන්මාර්ගයෙන් සකල ක්ලේශයන් නසා නිවනට පිවිසෙති. අචලශ්‍රද්ධාව නැති පෘථග්ජනයෝ වැටි වැටී ගමන් කරන්නෝ ය. ශ්‍රද්ධාව තථාගතයන් වහන්සේ විසින් නොයෙක් තැන නොයෙක් අයුරින් වර්ණනා කරන ලද්දකි.

පව් පිළිකුල් කරන ස්වාභවය හිරි නමි. පවට බියවන ස්වාභවය ඔත්තප්ප නමි, තථාගතයන් වහන්සේ විසින් දේශිත ආදිමධ්‍යපර්‍ය්‍යවසාන යන තුන් තැනම යහපත් වූ ධර්මයන් නැවත නැවත කියමින් ප්‍රගුණ කර සිත්හි දරා ගෙන ඒවායේ අර්ථයන් තේරුම් ගෙන ඇති බව බහුශ්‍රැතතා නමි. අකුශලයන් ප්‍රහාණය කිරීමෙහි හා කුශලයන් වැඩීමෙහි නො පසු බස්නා බව ඉදිරියට ම යන බව මෙහි අදහස් කරන විර්‍ය්‍යය . අකුශල පක්ෂයෙහි සිතට පවත්නට නො දී කුශලය මතුකර දෙන්නා වූ ද, කර කියා බොහෝ කල් ගත වූ කරුණ වුවද සිතට නඟා දෙන්නා වූ ද ප්‍රඥා සම්ප්‍රයුක්ත ස්මෘතිය මෙහි අදහස් කරන සිහිය ය. සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් දෙක දැකීමට සමත් වන්නා වූ ලෝභ ද්වේශ මෝහස්කන්ධයන් බිඳීමට දුරුකිරීමට සමත් ආර්‍ය්‍යවූ විදර්ශනා ප්‍රඥාව හා මාර්ග ප්‍රඥාව මෙහි අදහස් කරන ප්‍රඥාව ය.

බුද්ධාදි රත්නත්‍රය ගැන හා කර්ම කර්මඵලාදිය ගැන තථාගතයන් වහන්සේ මෙන් දන්නා අනිකකු නැත. උන්වහන්සේට ඒවා ගැන කිසිදු සැකයක් නැත. ඒ සියල්ල ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනීම නිසා තථාගතයන් වහන්සේට උසස් ම ශ්‍රද්ධාවක් ඇත. කර්ම කර්මඵලයන් ප්‍රත්‍යක්ෂ ලෙසින් ම දත් තථාගතයන් වහන්සේට පමණ පාපය ගැන පිළිකුලක් බියක් අනිකකුට නැත. ධර්මස්වාමී වූ තථාගතයන් වහන්සේගේ ධර්ම ඥානය ගැන අමුතුවෙන් කිය යුත්තක් නැත. අන් කවරකුටවත් නැති තරමේ උසස් සිහියක් ද උන්වහන්සේට ඇත. අකුශල ප්‍රහාණය පිණිස හා කුසලයන් ඇති කර ගැනීම සඳහා උත්සාහ කළ යුතු බවක් තථාගතයන් වහන්සේට නැත. එහෙත් මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ අන්‍යයන්ගේ යහපත පිණිස සැම කල්හි උත්සාහ කරන සේක. උන්වහන්සේගේ ප්‍රඥා සම්පත්තිය ගැන අමුතුවෙන් කිය යුත්තක් නැත.

රූපාවචරසමාපත්ති සතරය, අරූපාවචර සමාපත්ති සතරය යන අෂ්ට සමාපත්තීහුම චරණයෝ ය. මෙහි ධ්‍යාන සතරක් පමණක් චරණ වශයෙන් කියා ඇත්තේ අරූපාවචරධ්‍යාන ද චතුර්ථධ්‍යානයට අයත් නිසා ය.

විද්‍යාසම්පත්තියෙන් තථාගතයන් වහන්සේගේ සර්වඥත්වය පිරෙන්නේ ය. චරණ සම්පත්තියෙන් මහාකාරුණිත්වය පිරෙන්නේ ය. උන් වහන්සේ සර්වඥතාඥානයෙන් සත්ත්වයන්ගේ අර්ථානර්ථයන් දැන වදාරා මහාකරුණාවෙන් අනර්ථයන් දුරු කොට සත්ත්වයන් අර්ථයෙහි යොදවන්නාහ. තථාගතයන් වහන්සේ විද්‍යාචරණසම්පන්න බැවින් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ද සුප්‍රතිපන්නයෝ වෙති.

විද්‍යාචරණ සංග්‍රහ ගාථා

“විපස්සනාඤාණ මනොමයිද්ධි
ඉද්ධිප්පභෙදො’පි ච දිබ්බසොතං
පරස්ස චෙතොපරියායඤාණං
පුබ්බෙනිවාසානුගතඤ්ච ඤාණං

දිබ්බඤ්ච චක්ඛාසවසංඛයො ච
එතානි ඤාණානි ඉධට්ඨවිජ්ජා
අලංකරුං යා මුනි ධම්මදෙහං
විසෙසසොබා ගුණමජ්ඣුපෙතා.

සීලං වරං ඉන්ද්‍රියසංවරො ච
මත්තාසිතා ජාගරියානුයොගො
සද්ධා හිරොත්තප්ප බහුස්සුතත්තං
පරක්කමො චෙව සතී මතී ච
චත්තාරි ඣානානි ච තානි මානී
තිපඤ්ච ධම්මා චරණානි ජඤ්ඤා.”

4. සුගත ගුණය

බොහෝ ජනයා මෙන්, අන්‍ය ශාස්තෲවරයන් මෙන් නො මඟ නොගොස් යහපත් මඟ ගිය හෙයින් ද, එමඟින් නිර්වාණ සංඛ්‍යාත පරමසුන්දර ස්ථානයට පැමිණ වදාළ හෙයින් ද, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුගත නම් වන සේක.

ලෝකයෙහි ඇතමෙක් කාමයන්ගේ ආදීනවයන් සලකා ගත නො හී පඤ්චකාමය ම ලොව ඇති උසස් දෙය වශයෙන් වරදවා ගෙන, මනුෂ්‍යයාට කරන්නට ඇති උසස් දෙය හැකි පමණ පස්කම් සැප විඳීම යයි වරදවා ගෙන කාමසුඛල්ලිකානුයෝග සංඛ්‍යාත අමාර්ගයෙහි ගමන් කොට අපායට පැමිණෙන්නාහ.

ඇතැමෙක් සත්ත්වයනට සුවදුක් ලැබෙන්නේ පෙර කළ කර්මවල විපාක වශයෙන්ම යයි වරදවා ගෙන තපසින් පුරාණ කර්ම ගෙවා අභිනව කර්ම නොකර හැරීමෙන් කර්මයන් ක්ෂය කොට දුකින් මිදිය හැකි ය, දුක් කෙළවර කළ හැකිය යි ද, ඇතැමෙක් සැපයෙන් සැපය නො ලැබිය හැකිය. සැපය ලැබිය යුත්තේ දුකින් ම ය යි වරදවා ගෙන දැඩි තපස්කම් වලට බැස වස්ත්‍ර වර්ජන, ආහාර වර්ජන, වාසස්ථාන වර්ජන කරමින් කයට දැඩි දුක් දෙති. ගෝව්‍රත කුක්කුරව්‍රතාදි ව්‍රතයන් පිරීමෙන් ද කයට දැඩි දුක් දෙති. ඔවුහු ආත්මක්ලමථානුයෝග නම් වූ අමාර්ගයෙහි යන්නෝය. ඔවුහු ඒ අමාර්ගයේ ගමන් ගෙන දුකින් දුකටම පත් වන්නාහ. තථාගතයන් වහන්සේ කාමසුඛල්ලිකානුයෝග. අත්තක්ලමථානුයෝග යන දෙමඟ ම නො ගෙන මධ්‍යමප්‍රතිපදා සංඛ්‍යාත මාර්ගයෙහි ගමන් කරන බැවින් සුගත නම් වන සේක.

ලෝකයෙහි ඇතැමෙක් පින් පව් කරමින් සුවදුක් විඳිමින් ජාතියෙන් ජාතියට යන, නොනැසෙන ආත්මයක් ඇතය යි ශාශ්වත දෘෂ්ටිය ගෙන අමාර්ගයෙහි ගමන් කරති. ඇතැමෙක් සත්ත්ව ශරීරයෙහි මරණින් ඔබ තවත් තැනකට යන කිසිවක් නැත. ගස් වැල් මැරෙන්නාක් මෙන් සත්ත්වයෝ ද මැරෙන්නාහ. මළ සත්ත්වයා නැවත උපතක් නො ලබන්නේ ය යි උච්ඡේද දෘෂ්ටිය ගෙන අමාර්ගයෙහි ගමන් කොට අපාගත වෙති.

තථාගතයන් වහන්සේ පරම ගම්භීර ප්‍රතීත්‍ය සමුද්පාද ධර්මය අවබෝධ කර ශාශ්වතෝච්ඡේද දෘෂ්ටි සංඛ්‍යාත අමාර්ගද්වය හැර මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත සුමාර්ගයේ ගමන් කළ සේක. ඒ මගින් නිවනට පැමිණ වදාළ සේක. එබැවින් තථාගතයන් වහන්සේ සුගත නම් වන සේක.

බුදුන් කල විසූ පූරණකස්සප නමැති ශාස්තෲවරයා “මැරීම් - සොරකම් - බොරුකීම් ආදි නපුරුකම් කොපමණ කළත් ඒවායින් වන පවක් නැත. දීම් - සිල් රැකීම් ආදියෙන් වන පිනකුත් නැතය” යන දෘෂ්ටිය ගෙන නොමග ගියේය.

මක්ඛලීගෝසාල නම් ශාස්තෲවරයා “සත්ත්වයන්ගේ සංක්ලේශයට හේතුවක් ද නැත, විශුද්ධියට හේතුවක් ද නැත, පින් කරන්නෝ ය, පව් කරන්නෝ ය, පණ්ඩිතයෝ ය, බාලයෝ ය යන සෑම දෙනාම සංසාර ස්වභාවය අනුව ඒ ඒ ජාතිවල ඉපද සුවදුක් විඳ දුක් කෙළවර කරන්නාහ, ප්‍රතිපත්තියකින් එය වෙනස් නොවන්නේ ය” යන දෘෂ්ටිය ගෙන නො මඟ ගියේ ය.

අජිත කේසකම්බල නමැති ශාස්තෲවරයා “සුකෘත දුෂ්කෘත කර්මවලින් වන විපාකයක් නැත, මේ සත්ත්වයා සතර මහා භූතයන්ගෙන් සැදුණේය. මළ පසු ඔහුගේ ශරීරයේ පෘථිවිධාතුව පෘථිවිධාතුවටම එකතු වන්නේ ය, ආපෝධාතුව ආපෝධාතුවටම එකතු වන්නේ ය, තේජෝධාතුව තේජෝධාතුවට ම එකතු වන්නේ ය, වායෝ ධාතුව වායෝ ධාතුවට ම එකතු වන්නේ ය, ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ, දානය මෝඩයන්ගේ වැඩකි. බාලයෝ ද පණ්ඩිතයෝ ද යන සැම දෙන ම මරණින් කෙළවර වන්නාහ, නැවත උපදින්නෙක් නැත” යන උච්ඡේද දෘෂ්ටිය ගෙන නො මඟ ගියේ ය.

පකුධකච්චායන නම් ශාස්තෲවරයා “පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සුඛය, දුක්ඛය, ජීවය කියා සප්තකාය කෙනෙක් ඇත්තාහ. ඔවුහු ස්ථීරයහ, ඔවුහු කිසිවකු විසින් මවන ලද්දාහු නො වෙති, කිසිවකු විසින් මැවිය හැක්කෝ ද නො වෙති, ඔවුහු ඔවුනොවුන්ට හිංසා කරන්නෝද නො වෙති, එකෙක් අනිකෙකුට සැපදුක් ඇති කිරීමට නො සමත්ය. මරන්නෙක් හෝ මරවන්නෙක් නැත, තියුණු කඩුවකින් හිස සිඳින කල්හි සප්තකායයන් අතරට කඩුව යනු මිස, මරන එකෙක් හෝ මැරෙන එකෙක් නැත, යන මිථ්‍යා දෘෂ්ටිය ගෙන නො මඟ ගියේ ය.

නිගණ්ඨනාතපුත්ත නම් ශාස්තෲවරයා “චාතුයාමසංවරයක පිහිටිය යුතුය” යන දෘෂ්ටිය ගෙන සිසිල් දිය ද සත්ත්වයෙකැ යි සලකමින් සිසිල් දින පීමෙන් වැළකිම් ආදියෙන් නො මඟ ගියේය.

සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත නම් ශාස්තෲවරයා “පරලොවක් ඇත්තේ ද නැත, නැත්තේ ද නැත, නැවත උපදනා සත්ත්වයන් ඇත්තේ ද නැත, නැත්තේ ද නැත” යනාදි අමරාවික්ෂේප දෘෂ්ටිය ගෙන නො මඟ ගියේය.

බොහෝ ශාස්තෲවරයන් තමන් ද නො මඟ යෙමින් සෙස්සන් ද නො මඟ යැවූ අතර සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ද සුමග යෙමින් අපමණ දෙවි මිනිසුන් ද ඒ සුන්දර මාර්ගයෙන් අමෘතමහා නිර්වාණසංඛ්‍යාත පරමසුන්දරස්ථානයට යැවූ සේක.

තථාගත මාර්ගය

කාමසුඛල්ලිකානුයෝග අත්තකිලමතානුයෝග යන ලාමක අන්ත දෙකට නො බැස, ශාශ්වතෝච්ඡේද දෘෂ්ටි දෙකට නො බැස, තථාගතයන් වහන්සේ විසින් ගන්නා ලද සුන්දර මාර්ගය ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය ය. එය මධ්‍යමප්‍රතිපදා නම් වේ. එය ධර්මචක්‍රප්‍රවර්තන සූත්‍රයෙහි මෙසේ වදාරා තිබේ.

“කතමා ච සා භික්ඛවේ මඡ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණි උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති? අයමෙ ව අරියො අට්ඨාංගිකො මග්ගො. සෙය්‍යථීදං? සම්මා දිට්ඨි සම්මා සංකප්පො, සම්මා වාචා, සම්මා කම්මන්තො, සම්මා ආජීවො, සම්මා වායාමො, සම්මා සති, සම්මා සමාධි. අයං ඛො සා භික්ඛවෙ මඡ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති,”

“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ ප්‍රඥාචක්ෂුස ඇති කරන්නාවූ නුවණ ඇතිකරන්නා වූ කෙලෙස් සන්සිඳවීම පිණිස චතුස්සත්‍යාවබෝධය පිණිස නිර්වාණය පිණිස පවත්නා වූ ඒ මධ්‍යමප්‍රතිපදාව කෙසේද යත්? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයමය. ඒ කවරේ ද? සම්මා දිට්ඨීය, සම්මා සංකප්පය, සම්මා වාචාය, සම්මාකම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය යන මේ අංගයෝ ය. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ ප්‍රඥාචක්ෂුස ඇති කරන නුවණ ඇති කරන කෙලෙස් සන්සිඳවීම පිණිස චතුස්සත්‍යාවබෝධය පිණිස නිර්වාණය පිණිස පවත්නා වූ මධ්‍යමප්‍රතිපදාව මේය” යනු එහි තේරුම ය.

අප විසින් සම්පාදිත දහම් පොත් වල හා තවත් බොහෝ පොත්වල ද මේ ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්ගය විස්තර කර ඇති බැවින් එය මෙහි විස්තර නො කරනු ලැබේ.

සුගත යන ගුණපදයේ අර්ථය අටුවාවල දක්වා නැති අන් ක්‍රමයකින් ද ආචාර්‍ය්‍යන් විසින් වර්ණනා කර තිබේ. තථාගතයන් වහන්සේගේ විශේෂත්වය දැක්වීමට එය ඉතා හොඳ ක්‍රමයක් වන බැවින් එද මෙහි දක්වනු ලැබේ.

ගති යනු ඒ ඒ ජාතිවලට අයත් සත්ත්වයන්ට නමෙකි. නිරයගති - තිරච්ඡානගති - පේතගති - මනුස්සගති - දේවගති යන තැන්වල ගති යන වචනයෙන් කියැවෙන්නේ ඒ ඒ ජාතිවලට අයත් සත්ත්වයන් ය. සුන්දර පුද්ගලයා සුන්දර සත්ත්වයා සුගති නමි. සුගති යන වචනයෙහි අන්තිම ඉකාරය අකාර කළ කල්හි සුගත කියා වේ. සුගත යන්නෙන් කියැවෙන්නේ ද යහපත් පුද්ගලයාම ය. ප්‍රතිසන්ධියේ පටන් පරිනිර්වාණය දක්වා ජීවිතකාලය අනේකාශ්චර්‍ය්‍යයෙන් යුක්ත වන බැවින් බුදුවරුන්ට ඇත්තේ පරම සුන්දර ජීවිතයෙකි. අනේකාශ්චර්‍ය්‍යයන් ඇති පරමසුන්දර ජීවිතයක් පරමසුන්දර ආත්මභාවයක් ඇති බැවින් ලොවුතුරා බුදුවරු සුගත නම් වෙති. ලොවුතුරා බුදුවරයන් පිළිබඳ ආශ්චර්‍ය්‍ය කරුණු බොහෝ ය. ඉන් සමහරක් මෙ සේ ය.

මවුකුස පිළිසිඳගන්නා බොහෝ සත්ත්වයෝ තමන්ට වන්නේ කුමක් ද කියා නො දැන නො සිහියෙන් මවුකුසට පිවිසෙති. තුෂිත දිව්‍යලෝකයේ ඉපද සිට ඉන් ච්‍යුත ව බුදුවීම සඳහා මිනිස් ලොව මවුකුස පිළිසිඳ ගන්නා මහාබෝධිසත්ත්වයයෝ තමන්ගේ මවුකුස පිළිසිඳ ගැනීම ගැන දැනීම ඇති ව සිහියෙන් මවුකුසට පිවිසෙති. මේ එක් ආශ්චර්‍ය්‍ය කරුණකි.

මවුකුසට පැමිණ එහි වෙසෙන බොහෝ සත්ත්වයෝ තමන් සිටින්නේ කොහිද තමන්ට වී තිබෙන්නේ කුමක් ද කියා නො දැන මවුකුස වෙසෙති. මහා බෝධිසත්ත්වයෝ වනාහි තමන් මවුකුස වෙසෙන බව දැන සිහිනුවණින් එහි වෙසෙති. මේ එක් ආශ්චර්‍ය්‍ය කරුණෙකි.

මහබෝධිසත්ත්ව කෙනකුන් මවුකුස පිළිසිඳ ගත් කල්හි කිසිවෙකුගේ මෙහෙයීමක් නො මැතිව සිය කැමැත්තෙන් ම දිව්‍යපුත්‍රයෝ සතර දෙනෙක් පැමිණ සතර දිග සිට බෝධිසත්ත්වයන් හා මාතාවන් ආරක්ෂා කරති. එද එක් ආශ්චර්‍ය්‍ය කරුණෙකි.

කුස හොත් මහබෝසත් දරුවකු ඇති මෑණියන්ට අනේක පුද පඬුරු ලැබෙන්නට වන්නේ ය. බෝධිසත්ත්වයන් කුස පිළිසිඳ ගත් තැන සිට බෝධිසත්ත්ව මාතාවන්ට පුරුෂයන් පිළිබඳ කාමසංඥා ඇති නො වේ. එසේ ම කිසි ම පුරුෂයකුට රාග සිතින් බෝධිසත්ත්ව මාතාවන්ට ළං විය හැක්කේ ද නො වේ. කුසහොත් දරුවන් ඇති මවුවරුන් නොයෙක් රෝගාබාධ ඇති වන නුමුත් බෝධිසත්ත්ව මාතාවන් කිසි රෝගයක් ඇති නො වේ.

බෝසත් මවුන්ට කුස හොත් බෝසත් දරුවා පිරිසිදු වීදුරු කරඬුවක ඇති දෙයක් පිටතට පෙනෙන්නාක් මෙන් පිරිසිදු ලෙස පෙනේ.

මවුකුසයෙන් බිහි වන සෙස්සෝ කර්මජවාතයෙන් හිස යටිකුරු කොට පෙරළා යෝනිමුඛය කරා යවනු ලැබ එහි හිරවෙමින් තමන්ට සිදුවන්නේ කුමක් ද කියා දැනීමකුදු නැති ව ඉතා දුකසේ නො සිහියෙන් බිහි වෙති. මහාබෝධිසත්ත්වයෝ වනාහි ධර්මකථීකයකු ධර්මාසනයකින් බසින්නාක් මෙන් කිසිදු අවහිරයක් නො මැති ව මව් කුසයෙන් බිහි වෙමිය යන දැනීම ඇතිව සිහිනුවණින් යුක්ත ව සිට ගෙන ඉන්නා මෑණියන්ගේ කුසයෙන් බිහි වෙති.

සෙස්සෝ ඇඟපුරා තැවරුණු අපවිත්‍ර ද්‍රව්‍යයන් ඇති ව ඉතා අපිරිසිදු ව නාවා පිරිසිදු කර ගත යුතු තත්ත්වයෙන් මවුකුසින් බිහි වෙති. බෝධිසත්තවයෝ වනාහි කිසිදු අපවිත්‍ර දෙයක් නො තැවරුණු යටත් පිරිසෙයින් තෙත් ගතියකුදු නැති සළුවක ඔතා තිබී පිටතට ගත් මාණික්‍යය රත්නයක් සේ සුපරිසුද්ධ ශරීරයෙන් මවුකුසින් බිහි වෙති. එහෙත් සිහිල් වූ ද උණු වූ ද ජලධාරා දෙකක් අහසින් ගලා එන්නේ ය.

මෑණියන් සිට ගෙන සිටියදී බිහි වන බෝසතුන් පොළොවට පැමිණීමට කලින් දිව්‍යපුත්‍රයෝ සතර දෙනෙක් පිළිගනිති. මනුෂ්‍යයන් අතට බෝසත් කුමරුන් පැමිණෙන්නේ ඉන් පසුව ය.

මවුකුසින් බිහි වූ දරුවන්ට නැගිට සිටිය හැකි වන්නේ ගමන් කළ හැකි වන්නේ කලක් ගත වීමෙනි. මහබෝසත්හු උපන් සැටියේ ම ඒ සියල්ල කිරීමට සමත් වෙති. “දේවියනි, සතුටු වන්න. ඔබට මහේශාක්‍ය දරුවෙක් උපන්නේ ය”යි කියමින් දෙවියෝ බෝසත් දරුවන් මෑණියන් ඉදිරියේ තබති. එකෙණෙහි බෝසත් දරුවෝ පිය බිම තබා සිට සතර දිග බලති. දහස් ගණන් සක්වළවල් එක මිදුලක් මෙන් වී බෝසත්නට පෙනේ. බෝසත්හු කිසි තැනක තමන්ට උසස් කෙනෙකු තබා තමන් හා සම කෙනෙකුදු නො දැක දෙවියන් විසින් අල්ලන සේසත යටින් බිම පා තබමින් උතුරු දිග බලා සත් පියවරක් ගමන් කොට සත් වන පියෙහි සිට –

“අග්ගො හමස්මි ලොකස්ස
ජෙට්ඨො හමස්මි ලොකස්ස
සෙට්ඨො හමස්මි ලොකස්ස
අයමන්තිමාජාති, නත්ථීදානි පුනබ්භවො”යි

“මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ජාතිය ය, මට නැවත ඉපදීමක් නැතය”යි අභීත ප්‍රකාශනයක් කරන්නාහ.

මහ බෝධිසත්ත්වයන් මවුකුස පිළිසිඳ ගැනීම ය, මවුකුසින් බිහිවීම ය, පස්මරුන් පරදවා ලොවුතුරා බුදුබව ලැබීම ය, දම්සක් පැවැත්වීම ය යන මේ සතර කරුණෙහිදී ම අනේක ප්‍රාතිහාර්‍ය්‍යන් අනේකාශ්චර්‍ය්‍යයන් පහළ වන බව බොහෝ බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ ය.

බෝසත් කෙනෙකුන් මවුකුසින් බිහි වන කල්හි දේවබ්‍රහ්මයන්ගේ ආලෝකය යට කරන, චන්ද්‍රසූර්‍ය්‍යාලෝකයන් යට කරන, ලොව සැම තැන ම පැතිර යන, චන්ද්‍රසූර්‍ය්‍යාලෝකයන් නො පැමිණෙන තැන් ද ආලෝකවත් කරන මහත් ආලෝකයක් පහළ වේ. කිසි කලෙක එළියක් නො ලබන ලෝකාන්තරික නරකය ද එවිට ආලෝකවත් වන්නේ ය. දසදහසක් සක්වළ පොළොව කම්පා වන්නේ ය. දසදහසක් සක්වළවල දිව්‍යබ්‍රහ්මයෝ බෝසතුන් උපන් සක්වළට රැස්වන්නාහ. කෙනකුගේ වාදනය කිරීමක් නැති ව බෙරවලින් වීණාවලින් මිහිරි හඬ නැඟෙන්නේ ය. ගැටීමක් නැතිව ම මිනිසුන්ගේ අබරණවලින් හඬ නැගෙන්නේ ය. බන්ධනගත මිනිසුන්ගේ සියලු බන්ධන සිඳී යන්නේ ය. සියලු රෝගයෝ සුව වෙති. ජාත්‍යන්ධයන්ට පෙනෙන්නේ ය. බිහිරන්ට ඇසෙන්නට වන්නේ ය. පිළුන්ට ගමන් කළ හැකි වන්නේ ය. උත්පත්තියෙන් මුළාව සිටින්නෝ සිහිය ලබන්නාහ. විදේශයන්ට පැමිණ තුබූ නැව් තමන් තමන්ගේ තැන්වලට පැමිණෙන්නේ ය. රත්න සියල්ල බබලන්නට වන්නේ ය. වෛරීහු මෙත් සිත් ලබන්නාහ. නරකයන්හි ගිනි නිවෙන්නේ ය. ගංගාවල ජලය ගලා නො ගොස් නිශ්චල වන්නේ ය. සාගර ජලය මිහිරි වන්නේ ය. වාතය නිශ්චලව සිට ගන්නේ ය. ආකාශ පර්වතවෘක්ෂගත පක්ෂීහු බිමට බසින්නාහ. සඳ විශේෂයෙන් බබලන්නේ ය. හිර ද සෞම්‍ය වන්නේ ය. දෙවියෝ තමන් තමන්ගේ විමන්වල වෙසෙමින් ක්‍රීඩා කරන්නාහ. දිවයින් සතරට ම වැටෙන මහා වැස්සක් ඇති වන්නේ ය. මහජනයාට සාගින්න හා පිපාසාව ඇති නො වන්නේ ය. දොරකවුළු ඉබේ ම විවෘත වන්නේ ය. මල් පල හටගන්නා ගස් වැල් මල් පල වලින් බර වන්නේ ය. දස දහසක් කොඩි වැල්වලින් සැරසී සිටින්නේ ය. මෙසේ අනේක ප්‍රාතිහාර්‍ය්‍යයෙන් යුක්ත වන ආත්මභාවයක් ඇති බැවින් තථාගතයන් වහන්සේ සුගත නම් වන සේක.

තවද දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් ව්‍යාමප්‍රභාවෙන් කේතුමාලාවෙන් යුක්ත ව අකලංක චන්ද්‍රමණ්ඩලයක් සේ සන්ධ්‍යා සූර්‍ය්‍යමණ්ඩලයක් සේ පහන් ගසක් සේ මලින් වැසුණු ගසක් සේ ශෝභන වූ ස්වර්ණවර්ණ දේහය ඇති බැවින් ද තථාගතයන් වහන්සේ සුගත නම් වන සේක.

අනේක ප්‍රාතිහාර්‍ය්‍යයෙන් යුක්ත වන සුන්දර ගමන් ඇති බැවින් ද තථාගතයන් වහන්සේ සුගත නම් වන්නාහ. භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුර ශාක්‍යයන්ගේ සන්ථාගාරයට වැඩම කළ ආකාරය මධ්‍යමනිකායේ මධ්‍යමපණ්ණාසකයේ ශෛක්ෂසූත්‍ර අටුවාවෙහි මෙසේ වර්ණනා කර තිබේ.

1. එවං සබ්බංග සම්පන්නො - කම්පයන්තො වසුන්ධරං
අහෙඨයන්තො පාණානි - යාති ලොකෙ විනායකො,

.

2. දක්ඛිණං පඨමං පාදං - උද්ධරන්තො නරාසභො
ගච්ඡන්තො සිරිසම්පන්නො - සොභතෙ ද්විපදුත්තමො

.

3. ගච්ඡතො බුද්ධසෙට්ඨස්ස - හෙට්ඨා පාදතලං මුදු,
සමං සම්ඵුසතෙ භූමිං - රජසා නූපලිම්පති.

.

4. නින්නං ඨානං උන්නමති - ගච්ඡන්තෙ ලොකනායකෙ,
උන්නතඤ්ච සමං හොති - පඨවී ච අචේතනා.

.

5. පාසාණා සක්ඛරා චෙව - කඨලා ඛාණු කණ්ඨකා,
සබ්බේ මග්ගා විවජ්ජෙන්ති - ගච්ඡන්තෙ ලොකනායකෙ

.

6. නාතිදූරෙ උද්ධරති - නාච්චාසන්නෙ ච නික්ඛිපං
අඝට්ටයන්තො නීය්‍යාති - උභො ජාණු ච ගොප්ඵකෙ.

.

7. නාති සීඝං පක්කමති - සම්පන්න චරණො මුනි,
න චාති සනිකං යාති - ගච්ඡමානො සමාහිතො,

.

8. උද්ධං අධො ච තිරියං ච - දිසං ච විදිසං තථා,
න පෙක්ඛමානො සො යාති - යුගමත්තං ච පෙක්ඛති

.

9. නාගවික්කන්තචාරො සො - ගමනෙ සොභතෙ ජිනො,
චාරුං ගච්ඡති ලොකග්ගො - හාසයන්තො සදෙවකෙ.

.

10. උසභරාජාව සොභන්තො - චතුචාරීව කෙසරී,
තොසයන්තො බහූසත්තෙ - පුරසෙට්ඨමුපාගමී.

ගාථාවල තේරුම:-

1. මෙසේ සකලාංග පරිපූර්ණ වූ විනායකයන් වහන්සේ පොළොව කම්පා කරවමින් සත්ත්වයන්ට හිංසාවක් නොකෙරෙමින් ලෝකයෙහි ගමන් කරන සේක.

2. දක්ෂිණා ශ්‍රී පාදය පළමුව ඔසවමින් වඩනා වූ ශ්‍රී සම්පූර්ණ වූ ද්විපදෝත්තම වූ නරෝත්තමයන් වහන්සේ හොබනා සේක.

3. ගමන් කරන්නා වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වන්සේගේ මෘදු වූ යටිපතුල සමව භූමිය ස්පර්ශ කරන්නේ ය. එහෙත් එහි රජස් නො තැවරෙන්නේ ය.

4. ලෝකනායකයන් වහන්සේ ගමන් කරන කල්හි අචේතන වූ පොළොවෙහි මිටි තැන් උස් වන්නේය. උස් තැන් සම වන්නේ ය.

5. ලෝකනායකයන් වහන්සේ ගමන් කරන කල්හි ගල්කැට මැටිකැට කැබිලිති හුල් කටු යන මේ සියල්ල මාර්ගයෙන් ඉවත් වෙයි.

6. භාග්‍යවතුන් වහන්සේ ඉතා දුරින් තබනු පිණිස පිය නො ඔසවන්නාහ. පිය ඔසවා ඉතා ළඟින් ද නො තබන්නාහ. උන්වහන්සේ දෙදණ හා ගොප්ඇට එකිනෙක නොගටමින් ගමන් කරන සේක.

7. චරණසම්පන්න වූ තථාගතයන් වහන්සේ ඉතා වේගයෙන් නො යන සේක. නො සෙමින් ද නො යන සේක. යන කල්හි සන්සුන් වන සේක.

8. ඒ භාග්‍යවතුන් වහන්සේ උඩ යට සරස ද දිශානුදිශාවන් ද පමණ ඉක්මවා නො බලමින් සතර රියනක් පමණ තැන බලමින් ගමන් කරන සේක.

9. ඇතුන්ගේ ගමන බඳු ගමන් ඇත්තා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ ගමන් කිරීමේදී හොබනාහ. ලෝකාග්‍රයන් වහන්සේ දෙවියන් සහිත ලෝකය සතුටු කරවමින් මැනවින් ගමන් කරන සේක.

10. ඒ භාග්‍යවතුන් වහන්සේ වෘෂභ රාජයකු මෙන් ද, සිවු පයින් ගමන් කරන කේශර සිංහයකු මෙන් ද, බොහෝ සත්ත්වයන් සතුටු කරවමින් ශ්‍රේෂ්ඨ වූ පුරයට වැඩම කළ සේක.

තථාගත පදය

සුගත - තථාගත යන දෙපය රූපයෙන් හා අර්ථයෙන් ද බෙහෙවින් සමානය. බුදුරදුන් තමන් වහන්සේ ගැන බෙහෙවින් ව්‍යවහාර කර තිබෙනු පෙනෙන්නේ තථාගත යන වචනය ය. එබැවින් මෙතැන්හි තථාගත යන වචනය ද විස්තර කළ යුතු ය. බුදුරදුන් විසින් ම ද තථාගත යන වචනයේ අර්ථ විවරණයක් දීඝනිකායේ පාසාදික සූත්‍රයෙහි කර ඇත්තේය. අටුවාවල එහි අර්ථවිවරණය කර ඇත්තේ මෙසේ ය.

අට්ඨහි කාරණෙහි භගවා තථාගතො,

  1. තථා ආගතොති තථාගතො,
  2. තථා ගතොති තථාගතො,
  3. තථලක්ඛණං ආගතොති තථාගතො,
  4. තථධම්මෙ යථාවතො අභිසම්බුද්ධොති තථාගතො,
  5. තථ දස්සිතාය තථාගතො,
  6. තථවාදිතාය තථාගතො,
  7. තථා කාරිතාය තථාගතො,
  8. අභිභවනට්ඨෙන තථාගතො,

(සුමඞ්ගල විලාසිනී. 47)

1. පෙර බුදුවරුන් ආ පරිදි ආ බැවින් බුදුන් වහන්සේ තථාගත නම් වෙති. අතීතයෙහි ලොවුතුරා බුදුබවට පැමිණ වදාළා වූ සියලු බුදුවරයෝ සකල සත්ත්වයන්ට ම යහපත සැලසීමේ අදහසින් සකල සත්ත්වයන්ට ම යහපත සිදු කිරීමේ උත්සාහයෙන් ආවාහු ය. විපස්සී බුදුන් වහන්සේ ද එසේ ආහ. සිඛී වෙස්සභූ කකුසන්ද කෝණාගමන කස්සප යන බුදුවරයෝ ද එසේ ම ආහ. යම් බලාපොරොත්තුවකින් ඒ අතීත බුදුවරයෝ ආවාහු ද, ඒ බලාපොරොත්තුවෙන් ම අප බුදුරජාණන් වහන්සේ ද ආහ. යම් සේ පෙර බුදුවරයෝ දාන, ශීල, නෛෂ්ක්‍රමය, ප්‍රඥා, වීර්‍ය්‍ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන දශපාරමිතාවන්, දශඋපපාරමිතාවන්, දශ පරමාර්ථපාරමිතාවන් සම්පූර්ණ කොට අංග පරිත්‍යාග, නේත්‍ර පරිත්‍යාග, ධන පරිත්‍යාග, රාජ්‍ය පරිත්‍යාග, පුත්‍රදාර පරිත්‍යාග යන පඤ්චමහාපරිත්‍යාගයන් කොට ආවාහු ද අප බුදුරජාණන් වහන්සේ ද එසේ ආහ. යම් සේ අතීත බුදුවරයෝ සතර සතිපට්ඨානයන්, සතර සම්‍යක්ප්‍රධානයන්, සතර සෘද්ධිපාදයන්, පඤ්චේන්ද්‍රයයන්, පඤ්චබලයන්, සප්තබෝධ්‍යංගයන් වඩා ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩා ආවාහු ද, අප බුදුරජාණන් වහන්සේ ද එසේම ආහ. එසේ ආ බැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති.

2. පෙර බුදුවරයන් වහන්සේ ගිය පරිදි ගිය බැවින් බුදුරජාණෝ තථාගත නම් වෙති. විපස්සී බෝධිසත්ත්වයෝ මවුකුසින් බිහි වූ කෙණෙහි ම සමවූ පතුල්වලින් පොළොවෙහි සිටි සියලු දිග් බලා දෙවියන් විසින් චාමර සේසත් ඔසවා සිටියදී උතුරුදිග බලා සත්පියවරක් ඉදිරියට ගමන් කොට “අග්ගොහමස්මි ලොකස්ස” යනාදීන් අභීත ප්‍රකාශනයක් කළහ. සිඛී වෙස්සභූ කකුසන්ද කෝණාගමන කස්සප යන මහබෝධිසත්හු ද එසේම කළහ. අප සිද්ධාර්ථ ගෞතම බෝධිසත්ත්වයෝ ද එසේ ගමන් කළහ. ඒ ගමන අනේක විශේෂාධිගමනයන්ට පෙරනිමිත්තක් වන ගමනකි. බිම පය තබන සෙස්සන්ගේ පතුල් සම්පූර්ණයෙන් පොළොවෙහි සැපී එහි නො පිහිටයි. බෝසතුන්ගේ පතුල් සෑම තැනම පොළොවෙහි සැපී සිටින සේ බිම පිහිටයි. බෝසතුන් උපන් කෙණෙහි ම සැම තැනම බිම සැපෙන සේ පොළොවෙහි පා තබා සිටීම චතුරිද්ධිපාදයන් ලැබීමේ පෙර නිමිත්තය. උතුරට ගමන් කිරීම සකල ලෝකෝත්තර ධර්මයන් ලැබීමේ පෙරනිමිත්තය. සත්පියවරක් ගමන් කිරීම සප්තබෝධ්‍යංගරත්නයන්ගේ ප්‍රතිලාභයට පෙරනිමිත්තය. රන්ඳඩු ඇති චාමර එසවීම සකල තීර්ථකන් මැඩලීමේ පෙරනිමිත්තය. ශ්වේතච්ඡත්‍රය දැරීම අර්හත්ඵල විමුක්ති සංඛ්‍යාත ශ්වේතච්ඡත්‍රය ලැබීමේ පෙරනිමිත්තය. සකල දිශාවන් බැලීම අනාවරණ සර්වඥාතාඥානය ලැබීමේ පෙරනිමිත්තය. අභීත ප්‍රකාශනය කිරීම කිසිවකුන් විසින් පෙරළිය නො හෙන උත්තම ධර්මචක්‍රය පැවැත්වීමේ පෙරනිමිත්තය. මහබෝසතුන්ගේ ඒ ගමන නො වරදින පෙරනිමිත්තක් වන ගමනෙකි. ඒ ගමන නිමිත්තෙන් සිදුවන සියල්ල නොවරදවා එසේම සිදුවෙයි. නො වරදවා ම සිදුවන කරුණුවලට පෙරනිමිති වන ගමනක්, උපන් කෙණෙහි ම ගිය බැවින් සර්වඥයන් වහන්සේ තථාගත නම් වෙති.

තවද පෙර බුදුවරයෝ ද අප ගෞතම බුදු රජාණන් වහන්සේ ද නෛෂ්ක්‍රාම්‍යයෙන් කාමච්ඡන්දය ප්‍රහාණය කොට ඉදිරියට ගියහ. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය ද, ආලෝකසංඥාවෙන් ථීනමිද්ධයන් ද, අවික්ෂේපයෙන් උද්ධච්චකුක්කුච්චයන් ද, ධර්මව්‍යවස්ථාවෙන් විචිකිච්ඡාව ද දුරුකොට ඉදිරියට ගියහ. ඥානයෙන් අවිද්‍යාව ප්‍රදාලනය කොට ගියහ. ප්‍රීතියෙන් අරතිය දුරුකොට ගියහ. ප්‍රථමධ්‍යානාදියෙන් නීවරණාදිය දුරුකොට ගියහ. සෝවාන් මාර්ගයෙන් දෘෂ්ටිය හා තදේකස්ථ ක්ලේශයන් ද, සකෘදාගාමී මාර්ගයෙන් ඖදාරික ක්ලේශයන් ද, අනාගාමී මාර්ගයෙන් අනුසයිත ක්ලේශයන් ද, අර්හන්මාර්ගයෙන් සකල ක්ලේශයන් ද ප්‍රහාණය කොට පරමසුන්දර නිර්වාණයට ගියහ. එසේ ගිය බැවින් බුදුවරු තථාගත නම් වෙති.

3. තථ යනු සත්‍යයට නමකි. නාමරූපයෙන්ගේ නියම ලක්ෂණයන් සත්‍ය ලක්ෂණයන් දැන ගැනීම දුෂ්කර ය. එබැවින් සාමාන්‍ය ලෝකයා ඒ නාමරූපයන් සත්ත්ව පුද්ගලාදි වශයෙන් ගෙන ඒවා ගැන රැවටී සිටිති. භාග්‍යවතුන් වහන්සේ ඒ නාමරූප ධර්මයන්ගේ තථ ලක්ෂණය නියම ස්වාභාවය ඇති සැටියට ම නො වරදවා දැන සිටින සේක. නාමරූප ධර්මයන්ගේ තථ ලක්ෂණය හෙවත් නියම ලක්ෂණය දැනීම තථ ලක්ෂණයට ඥානයෙන් පැමිණීමකි. තථ ලක්ෂණයට ඥාණයෙන් ඒමකි. එබැවින් ඥාණ ගමනින් තථ ලක්ෂණයට ආයේ ය, පැමිණියේ ය යන අර්ථයෙන් සර්වඥයන් වහන්සේ තථාගත නම් වෙති.

4. දුඃඛසත්‍යය, සමුදයසත්‍යය, නිරෝධසත්‍යය, මාර්ගසත්‍යය යන මේ ආර්‍ය්‍යසත්‍යයෝ සතර දෙන එසේ ම ඇති බැවින් තථ ධර්ම නම් වෙති. කිසි කලෙක අසත්‍ය නො වන බැවින් අවිතථ ධර්ම නම් වෙති. අන් අයුරකින් නො වන බැවින් අනන්‍යථ ධර්ම නම් වෙති. ඒකාන්තයෙන් ඇති බැවින් තථ නම් වූ චතුරාර්‍ය්‍යසත්‍යය ධර්මය ඇති සැටියෙන් ම අවබෝධ කළ බැවින් බුදුරජාණෝ තථාගත නම් වෙති. එහි ගත යනුවෙන් කියවෙන්නේ අවබෝධ කිරීමය යන අර්ථය ය. තවද අවිද්‍යාව සංස්කාරයන්ට හේතුවන බව ද එසේම ය. සංස්කාරයන් විඥානයට හේතුවන බව ද එසේම ය. විඥානය නාමරූපයන්ට හේතුවන බව ද එසේම ය. නාමරූපයන් ෂඩායතනයන්ට හේතු වන බව ද එසේ ම ය. ෂඩායතනයන් ස්පර්ශයට හේතු වන බව එසේම ය. ස්පර්ශය වේදනාවට හේතු වන බව ද එසේම ය. වේදනාව තෘෂ්ණාවට හේතු වන බව ද එසේම ය. තෘෂ්ණාව උපාදානයන්ට හේතු වන බව ද එසේමය. උපාදානයන් භවයට හේතු වන බවද එසේම ය. භවය ජාතියට හේතු වන බවද එසේම ය. ජාතිය ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාශයන්ට හේතු වන බව ද, එසේ ම ය එසේ ම වන බැවින් තථ නම් වූ ඒ කරුණු අවබෝධ කළ බැවින් ද බුදුරජාණෝ තථාගත නම් වෙති.

5. සත්ත්වයන්ගේ චක්ෂුරාදි ද්වාරයන්ට පැමිණෙන්නා වූ, ද්වාරයන්හි ගැටෙන්නා වූ, ද්වාරානුසාරයෙන් සත්ත්වයන් දැනගන්නා වූ රූප ශබ්දාදි ධර්මයන් මනුෂ්‍ය දේව බ්‍රහ්මාදි සත්ත්වයෝ ආත්මනීයාදි වශයෙන් වැරදි ලෙස දනිති, ගනිති. භාග්‍යවතුන් වහන්සේ වනාහි සත්ත්වයන් වශයෙන් ද, සංස්කාරයන් වශයෙන් ද අනේකචක්‍රවාළයන්හි ඇති රූප ශබ්දාදි සියල්ල ඇති සැටියට ම දක්නාහ. සකල සත්ත්වයන් විසින් දක්නා ලද , අසන ලද, පැමිණෙන ලද, සොයා ගන්නා ලද සියල්ල ඇති සැටියට ම දක්නා සේක. එබැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති.

6. සත්‍යය, නො වරදින දෙය තථ නම් වේ. තථාගතයන් වහන්සේ බෝධිමූලයේ අපරාජිත පර්‍ය්‍යංකයෙහි වැඩ හිඳ පස් මරුන් පරදවා ලොවුතුරා බුදුබවට පැමිණි තැන් පටන් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවීම දක්වා ඒ අතර කාලයේදී යමක් ප්‍රකාශ කරන ලද නම් ඒ සියල්ල එසේ ම වන බැවින් නො වරදින බැවින් තථ නම් වේ. නො වරදින දෙයක් ම ප්‍රකාශ කරන බැවින් සර්වඥයන් වහන්සේ තථාගත නම් වන සේක.

තථාගතයන් වහන්සේ ථුලු නම් ජනපදයෙහි වැඩවෙසෙන සේක්, ලිච්ඡවිපුත්‍ර සුනක්ඛත්ත නම් භික්ෂුව හා උත්තරකා නම් නියම්ගමට පිඬු පිණිස වැඩ වදාළ සේක. එකල්හි එහි බලු වත පුරන කෝරක්ඛත්තිය නම් තවුසෙක් වාසය කෙළේ ය. ඔහු වස්ත්‍ර නො හඳනේය. භාජන නො පිළිගන්නේ ය. බිම දැමූ ආහාර සතර ගාතයෙන් සිට කටින් ම සුනඛයෙකු සේ අනුභව කරන්නේ ය. සුනඛයෙකු සේ වකුටු වී බිම නිදන්නේ ය. බුදුරජුන් පසුපස ඇවිදිතත් රහතුන් නො හඳුනන සුනක්ඛත්ත, ඒ තවුසා දැක “වස්ත්‍ර ලෝභය, භෝජන ලෝභය, ආසන ලෝභය දුරුකොට බිම දැමූ දෙය වළඳන මේ තවුසා ඒකාන්තයෙන් රහත් කෙනෙක, මොහු වැනි අන් පැවිද්දෙක් නැත. අපේ පැවිද්ද කුමක් ද? මොහුගේ පැවිද්ද ම නියම පැවිද්ද නොවේ දැ”යි සිතුවේ ය. සුනක්ඛත්ත මහණ, ස්වාභාවයෙන් ම ලාමක අදහස් ඇතියකු බව දන්නා තථාගතයන් වහන්සේ “මේ තවුසා දැක ඔහු කුමක් සිතුවේ දැ”යි බලා වදාරන සේක්, ඔහු සිතූ සැටි දැක, “සුනක්ඛත්ත, නුඹත් ශ්‍රමණශාක්‍යපුත්‍රයකැයි කියා ගන්නවා නොවේ දැ”යි වදාළහ. එකල්හි සුනක්ඛත්ත “ස්වාමීනි, කිනම් වරදක් නිසා මා හට එසේ කී සේක් දැ”යි විචාළේ ය. “නුඹ අර බලුවත පුරන කෝරක්ඛත්තිය රහතන් වහන්සේ කෙනකැ යි සිතුවේ නොවේ දැ”යි තථාගතයන් වහන්සේ වදාළහ.

එකල්හි සුනක්ඛත්ත “ස්වාමීනි, නුඹ වහන්සේ අර්හත්වයට මසුරු වන සේක් දැ”යි කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක්, “මෝඝපුරුෂය, මම අර්හත්වයට මසුරු වන්නෙම් නො වෙමි. නුඹට රහත් නො වන්නෙකු ගැන රහත්ය යන දෘෂ්ටිය ඇති විය. එය හරුව, එය නුඹට දීර්ඝකාලයක් අනර්ථය පිණිස නො පවතීවා”යි වදාරා “නුඹ රහතන් වහන්සේ කෙනෙකුන් සේ සිතූ කෝරක්ඛත්තිය අදින් සත්වන දින අජීර්ණ රෝගයෙන් මැරෙන්නේය. ඔහු සියල්ලන්ට හීන කාලකඤ්ජිකා නම් අසුරයෝනියෙහි උපදින්නේ ය, ඔහුගේ සිරුර ඛීරණත්ථම්භක නම් සොහොනට ඇද දමන්නාහ, නුඹ කැමති නම් එහි ගොස් කොහි උපන්නෙහි දැයි ඔහුගෙන් අසන්න, ඔහු උපන් තැන කියනු ඇතැ”යි වදාළ සේක.

ඉක්බිති සුනක්ඛත්ත, කෝරක්ඛත්තිය වෙත ගොස් බුදුරජුන්ගේ ප්‍රකාශනය ඔහුට කියා “ශ්‍රමණ ගෞතමයන්ගේ කීම බොරුවන්නට, ඔබ පමණ දැන අහර ගනිමින් පරෙස්සම් වන්නය”යි ඔහුට අවවාද කොට සත්වන දවස පැමිණෙන තුරු දින ගනිමින් සිටියේය. කෝරක්ඛත්තිය ඔහුගේ බස් අසා බුදු වදන් බොරු කරන්නට සිතා එදින පටන් නිරාහාරව ම සිටියේය.

සත්වන දිනයේ කෝරක්ඛත්තියගේ දායකයෙක් “වෙනදා අප නිවසට පැමිණෙන ශ්‍රමණයන් වහන්සේ දින ගණනකින්ම නො පැමිණියහ. උන්වහන්සේ බලන්නට යෙමි”යි සිතා ඌරුමස් පිසවාගෙන බත් ද සමඟ ගෙන ගොස් කෝරක්ඛත්තිය ඉදිරියේ බිම සැලුයේ ය. දින ගණනක් නිරාහාරව සිටි කෝරක්ඛත්තියට ඒ ආහාරය නොවළදා සිටිය නො හැකි විය. ඔහු “ශ්‍රමණ ගෞතමයන්ගේ කීම හරි ගියත් නොගියත් නිරාහාරව මැරෙනවාට වඩා මට අහරක් වළදා මැරීම හොඳය”යි සිතා නැඟිට සතර ගාතයෙන් සිට බඩපුරා ඒ ආහාරය අනුභව කෙළේ ය. දින ගණනක් නිරාහාරව සිට අනුභව කළ ඒ ආහාරය ඔහුට දිරවා ගත හැකි නො වීය.

එදින රාත්‍රියෙහි අජීර්ණයෙන් ඔහු මැරී බුදුරජුන් වදාළ පරිදි කාලකඤ්ජිකා නම් අසුරයෝනියෙහි උපන්නේ ය. තීර්ථකයෝ කෝරක්ඛත්තියගේ මරණය අසා රැස්ව දවස් ගැන බලා “ශ්‍රමණ ගෞතමයන්ගේ එක් බසක් හරි ගියේ ය. දැන් මේ මිනිය අන් තැනකට ඇද දමා ඔහුගේ වචනය බොරු කොට නිග්‍රහ කරම්හ”යි සිතා කෝරක්ඛත්තියගේ මිනිය වැලකින් බැඳ බලුකුණක් මෙන් ඇදගෙන ගියෝ ය. ඔවුනට ගිය ගිය තැන මිදුල්ම විය. දැමීමට සුදුසු තැනක් නො ලැබ ඉදිරියට ගියා වූ ඔවුහු ඉබේම ඛීරණත්ථම්භ නම් සොහොන් බිමට පැමිණියෝ ය. ඔවුහු එය බුදුරදුන් වදාළ සොහොන බව දැන අන් තැනකට ගෙන යනු පිණිස මිනිය අදින කල්හි බැඳි වැල් සිඳී ගියේ ය. මිනිය එතැනින් සෙලවිය නොහැකි විය. ඔවුහු “වන්නාක් වේවා”යි මිනිය එහි දමා ගියහ.

ඉක්බිති සුනක්ඛත්ත භික්ෂුව “ශ්‍රමණ ගෞතමයන් කී දේවලින් කොටසක් හරි ගියේය. මළ එකකු නැඟිට අනිකකු හා කථා කිරීම නම් සිදු නොවන්නකි. දැන් මම ගොස් ඔහුට කථා කරන්නෙමි. ඔහු කථා කළ හොත් හොඳය, නො කළ හොත් ශ්‍රමණ ගෞතමයන් හට මුසාවාදයෙන්, නිග්‍රහ කරන්නෙමි”යි සිතා ඛිරණත්ථම්භ සොහොනට ගියේ ය. එහි ගොස් කෝරක්ඛත්තියගේ, සිරුරට තෙවරක් අතින් තට්ටු කර “ඇවැත්නි, කෝරක්ඛත්තිය, ඔබ උපන් තැන දන්නෙහි දැ”යි ඇසී ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන් අසුරයා ගෙන්වා කෝරක්ඛත්තියගේ මළ සිරුරට ප්‍රවේශ කරවා ඔහු කාලකඤ්ජිකා නම් වූ සියල්ලට හීන අසුර යෝනියෙහි උපන් බව ප්‍රකාශ කර වූහ. බුදුරදුන්ගේ වදන ඔවුනට බොහෝ උත්සාහ කොට ද වරදවන්නට බොරු කරන්නට නො පිළිවන් විය.

තථාගතයන් වහන්සේ වෛශාලිනගරාසන්නයේ මහවනයේ කූටාගාර ශාලාවක වැඩ වෙසෙන කල්හි වෛශාලියෙහි පාථිකපුත්ත නම් කීර්තිමත් අචේලක තවුසෙක් විය. ඔහු වෛශාලී නගරයෙහි පිරිස් මැද මෙසේ කියයි, “ශ්‍රමණ ගෞතම තෙමේ ඥානවාදියෙකි, මම ද ඥානවාදී වෙමි. ඥානවාදී වූ මම ඥානවාදී ගෞතමයන් හා තරඟයට සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය කිරීමට සුදුසු වෙමි. ප්‍රාතිහාර්‍ය්‍ය සඳහා ශ්‍රමණ ගෞතමයෝ මාර්ගයෙන් අඩක් දුර එත්වා. මම ද මාර්ගයෙන් අඩක් දුර එන්නෙමි. ශ්‍රමණ ගෞතමයන් එක් ප්‍රාතිහාර්‍ය්‍යක් කළ හොත් මම දෙකක් කරමි. ශ්‍රමණ ගෞතමයන් ප්‍රාතිහාර්‍ය්‍ය දෙකක් කළහොත් මම සතරක් කරමි. ඔවුන් සතරක් කළ හොත් මම අටක් කරමි. ශ්‍රමණ ගෞතමයන් කොතෙක් ප්‍රාතිහාර්‍ය්‍ය කළත් මම ඔවුන් කරන ප්‍රාතිහාර්‍ය්‍ය මෙන් දෙගුණයක් ප්‍රාතිහාර්‍ය්‍ය දක්වමි.”

ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත පාථිකපුත්‍රගේ කථාව අසා බුදුරදුන් වෙත ගොස් පාථිකපුත්‍ර කියන කරුණ උන්වහන්සේට සැල කෙළේය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් “සුනක්ඛත්තය, පාථිකපුත්‍රයා හට ඒ කීම අස්කර නො ගෙන, තමාත් බුදු කෙනෙක්ය යන සිත ඉවත් නො කොට, තමාත් බුදු කෙනෙක යන දෘෂ්ටිය ඉවත් නො කර, මා ඉදිරියට නො ආ හැකි ය. ඉදින් එන්නට උත්සාහ කළහොත් ඔහුගේ හිස බොටුවෙන් ගැලවී බිම වැටෙන්නට ද පිළිවන, සත්කඩකට පුපුරා යන්නට හෝ පිළිවනැ”යි වදාළ සේක. එකල්හි සුනක්ඛත්ත මහණ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ පරෙස්සම් වන්න. නුඹ වහන්සේ පරිස්සම් වන්නය”යි කීය. “නුඹ කුමක් නිසා මට එසේ කියන්නෙහිදැ“යි තථාගතන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, පාථිකපුත්‍ර යම්කිසි ක්‍රමයකින් නුඹ වහන්සේ ඉදිරියට පැමිණිය හොත් නුඹ වහන්සේගේ කීම බොරු වන්නේය”යි සුනක්ඛත්ත කීය. එකල්හි තථාගතයන් වහන්සේ “සුනක්ඛත්තය, තථාගතයන් වහන්සේ හරි නො යන කථා කියත්දැ”යි වදාළහ. “ස්වාමීනි, පාථිකපුත්‍ර හට නුඹ වහන්සේ ඉදිරියට නො ආ හැකි බව නුඹ වහන්සේ විසින් නුවණින් දක්නා ලද ද? නැත හොත් දෙවියන් විසින් හෝ නුඹ වහන්සේට කින ලදදැ”යි සුනක්ඛත්ත ඇසීය. “සුනක්ඛත්ත, මම ඒ බව දුටිමි, දෙවියෝ ද එය මට කීහ”යි තථාගතයන් වහන්සේ වදාළහ. ඉක්බිති තථාගතයන් වහන්සේ “සුනක්ඛත්ත, මම වෛශාලියෙහි පිඬු පිණිස හැසිර දිවා විහරණය පිණිස පාථිකපුත්‍රගේ ආරාමයට යෙමි. නුඹ කැමති නම් ඒ බව පාථිකපුත්‍ර හට දන්වන්නය”යි වදාළහ.

පසු දින තථාගතන් වහන්සේ වෛශාලියෙහි පිඬු පිණිස හැසිර දිවා විහරණය සඳහා පාථිකපුත්‍රගේ ආරාමය බලා වැඩම කළ සේක. සුනක්ඛත්ත වත පිළිවත කරමින් බුදුරදුන් සමීපයෙහි හැසිරෙන්නෙකු වුව ද බුදුරදුන්ට සතුරු බුදුරදුන් පරදිනු දක්නට කැමති පුද්ගලයෙකි. ඔහු වෛශාලිට ගොස් “පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ පාථිකතපුත්‍රගේ ආරාමයට වැඩම කළහ. අද උසස් පැවිද්දන් දෙදෙනෙකු අතර ප්‍රාතිහාර්‍ය්‍ය තරඟයක් වන්නේ ය. එය බැලීමට සැම දෙනාම පැමිණෙත්වා”යි කියමින් ඇවිද්දේ ය. ඔහුගේ බස් අසා ප්‍රසිද්ධ අප්‍රසිද්ධ ලිච්ඡවීහු ද බ්‍රාහ්මණ ගෘහපතීහු ද නානාලබ්ධික ශ්‍රමණයෝ ද පාථිකපුත්‍රගේ ආරාමයට ගලා ආහ. පිරිස දහස් ගණනක් වූහ. තමාට ප්‍රාතිහාර්‍ය්‍ය පෑ නො හෙන බව පාථිකපුත්‍ර දනී. ඔහු කලින් කීයේ බුදුරදුන් ප්‍රාතිහාර්‍ය්‍ය තරඟයකට ඉදිරිපත් නො වෙතිය යන අදහසිනි. භාග්‍යවතුන් වහන්සේ දවල් කාලයේ විසීම පිණිස ඔහුගේ ආරාමයට පැමිණ ඇති බවත් ප්‍රාතිහාර්‍ය්‍ය දක්නට මහ සෙනඟක් එමින් සිටින බවත් පාථිකපුත්‍රට සැල වී ඔහු බිය විය. කළ හැකි අනිකක් නැත්තෙන් ඔහු තින්දුකඛාණු නම් පිරිවැජි අරමට පලාගියේය.

ප්‍රාතිහාර්‍ය්‍ය දක්නට රැස්වූ පිරිස පාථිකපුත්‍ර බිය වී තින්දුකඛාණු නම් පරිබ්‍රාජකාරාමයට පලා ගිය බව අසා ඔහු කැඳවා ගෙන එනු පිණිස පුරුෂයකු යැවූහ. ඔහු පාථිකපුත්‍ර වෙත ගොස් “ඇවැන්නි පාථිකපුත්‍ර, ඔබ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හා ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමට කැමති බව කීයෙහි ය. ශ්‍රමණ ගෞතමයන් මගින් අඩක් දුර ආව හොත් ඔබත් අඩක් මඟ ගොස් ශ්‍රමණ ගෞතමයන් කරන ප්‍රාතිහාර්‍ය්‍ය මෙන් දෙගුණයක් ප්‍රාතිහාර්‍ය්‍ය කරන බව ජනයා මැද තැන තැන කීයෙහි ය, දැන් ශ්‍රමණ ගෞතමයෝ මඟින් අඩක් ඉක්මවා ඔබගේ අරමට ම පැමිණ සිටින්නාහ, ප්‍රාතිහාර්‍ය්‍ය දකිනු රිසියෙන් බොහෝ ජනයා ද එහි පැමිණ සිටිති. දැන් ප්‍රාතිහාර්‍ය්‍ය දැක්වීමට කාලය පැමිණ ඇත. එහි යනු මැනව”යි කීය. පාථිකපුත්‍ර “එන්නම් ඇවැන්ති, එන්නම් ඇවැන්ති”යි කියමින්, හුන් ගල් තලාවෙහි ම නො සැලී හිඳී. ඔහු නො නැඟිටින කල්හි ඒ පුරුෂයා “කිමෙක්ද, පාථිකපුත්‍ර ඔබගේ උකුල් ඇට ගලේ ඇලුණේ ද? ගල හෝ ඔබේ උකුල් ඇටවල ඇලී ගියේ ද? එන්නම් එන්නම්'යි කියමින් ඔබ නො සෙල්වෙන්නෙහිය”යි කීය. පාථිකපුත්‍ර නැවත ද “එන්නම් ඇවත්නි, එන්නම් ඇවැත්නි”යි කියමින් එහි ම නො සැලී හිඳී. පාථික පුත්‍ර නො ගැටින කල්හි ඔහු පරාජිතව කරකියා ගත හැකි දෙයක් නැතිව ගලෙහි ඇලී ඉන්නා බව ඒ පුරුෂයාට වැටහී ආපසු අවුත් පිරිසට කාරණය දැන්වීය.

එකල්හි තථාගතයන් වහන්සේ පිරිස අමතා “ඇවැත්නි, පාථිකපුත්‍රහට තමා බුදු කෙනෙකු යන ප්‍රකාශනය ඉවත් කර නො ගෙන ඒ සිත ඒ දෘෂ්ටිය අත් නො හැර මා ඉදිරියට නො ආ හැකිය, ඉදින් එන්නට සිතුයේ නම් ඔහු ගේ හිස ගිලිහී බිම හෝ වැටෙන්නේ ය. පුපුරා හෝ යන්නේ ය”යි වදාළ සේක.

එකල්හි ඒ පිරිසෙහි උන් ලිච්ඡවි මහාමාත්‍යයෙක් නැගිට “පින්වත්නි, මා එන තුරු මොහොතක් නවතින්න. පාථික පුත්‍ර මේ පිරිසට ගෙන එන්නට මම ද උත්සාහ කර බලමි”යි කියා ඔහු වෙත ගියේය. ඔහු එහි ගොස් පාථික පුත්‍රයා අමතා “ඇවැත්නි, ඔබ විසින් කළ තමා බුදු කෙනෙකු යන ප්‍රකාශනය ඉවත් කර නො ගෙන, තමා බුදු කෙනෙක යන සිත, තමා බුදු කෙනෙක යන දෘෂ්ටිය නො හැර ඔබට ශ්‍රමණ ගෞතමයන් ඉදිරියට නො පැමිණිය හැකිය. ඉදින් ඔබ පැමිණෙන්නට සිතුයේ නම්, ඔබ ගේ හිස ගැළවී හෝ වැටෙන්නේ ය, පුපුරා හෝ යන්නේය”යි ශ්‍රමණ ගෞතමයෝ පිරිස් මැද ප්‍රකාශ කළහ. ඔබ ශ්‍රමණ ගෞතමයන් වෙත යනු මැනවි. අන් ප්‍රාතිහාර්‍ය්‍යයකින් කම් නැත, යාමෙන් ම ඔබට ජය ලබා දෙමි”යි කීය. පාථීක පුත්‍ර “එන්නම් ඇවැත්නි, එන්නම් ඇවැත්නි”යි කියමින් ගලටම ඇලී නිසල ව සිටී. ඔහු නැවත ද පාථික පුත්‍ර හට එන ලෙස කීය. පාථික පුත්‍ර, එමි ය, එමි ය, කියමින් නිසල ව හිඳී. අමාත්‍ය තෙමේ පාථික පුත්‍ර පරාජිත ව ඉන්නා බව තේරුම් ගෙන පෙරළා ගොස් ඒ බව දැන්වී ය.

එකල්හි තථාගතයන් වහන්සේ පාථිකපුත්‍රයා කඹවලින් බැඳ ගවයන් ලවා අද්දවා ද තමන් වහන්සේ ඉදිරියට නො ගෙන ආ හැකි බව වදාළසේක. එ කල්හි ජාලිය නමැත්තෙක් පිරිසට කියා ඔහු කැඳවා ගෙන එන පිණිස පාථික පුත්‍රයා නැඟිටවන්නට උත්සාහ කෙළේය. නොයෙක් ලෙසින් කරුණු කියමින් අවමන් කරමින් උත්සාහ කළ නුමුත් පාථිකපුත්‍රයා නැගිටවිය හැකි නො වී ය. පාථිකපුත්‍රයා නැගිටවනු බැරි බව තේරුම් ගත් ජාලිය පෙරළා අවුත් ඒ බව පිරිසට කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ රැස් වූ මහා පිරිසට දහම් දෙසා බොහෝ දෙනකුන් ක්ලේශබන්ධනයෙන් මුදවා සත්තලක් අහසට නැඟ තමන් වහන්සේගේ ශරීරයෙන් ගිනිදැල් නික්මවා දුම් නික්මවා ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා මහවනයේ කූටාගාර ශාලාවට වැඩම කළ සේක. පාථික පුත්‍රයා පිළිබඳව වදාළ දෙය අසත්‍ය කරන්නට බොහෝ දෙනකුන් උත්සාහ කළ ද නො පිළිවන් වී ය.

(මේ කථා දෙක පාථීකසූත්‍රයෙනි)

7. ලෝකයේ බොහෝ දෙනා එකක් කියමින් අනිකක් කරති. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් ආකාරයකින් කියන සේක් නම් ඒ ආකාරයෙන් ම කරන සේක. එ බැවින් උන් වහන්සේ තථාගත නම් වෙති. ලෝකයෙහි බොහෝ දෙනා එකක් කරමින් අනිකක් කියති. භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකින් කරන සේක් නම්, ඒ ආකාරයෙන් ම කියන සේක. එබැවින් උන් වහන්සේ තථාගත නම් වෙති.

8. අගද යනු බෙහෙතට නමෙකි. නොවරදින්නා වූ සත්‍ය වූ බෙහෙත “තථ අගද” නමි. නො වරදින බෙහෙත් ඇත්තේ තථාගත ද නම් වේ. එයම දකාරයට තකාර කිරීමෙන් තථාගත නම් වේ. දිව්‍යඖෂධයෙන් සර්පයන් මඬින්නාක් මෙන් වසඟයට ගන්නාක් මෙන් ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත දේවබ්‍රහ්මයන් සහිත සකල ලෝකය අභිභවනය කිරීමට, වශයෙහි පැවැත්වීමට සමත් නොවරදින්නා වූ බෙහෙතක් භාග්‍යවතුන් වහන්සේට ඇත්තේ ය. එබැවින් උන්වහන්සේ තථාගත නම් වෙති. ඒ බෙහෙත නම්, අනූපම දේශනා විලාසය, චතුරසංඛ්‍යකල්පලක්ෂයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුශලස්කන්ධය, ආර්‍ය්‍යශීලස්කන්ධය, ආර්‍ය්‍යසමාධිස්කන්ධය, ආර්‍ය්‍යප්‍රඥාස්කන්ධය යන මේවාය.

තථාගතයන් වහනසේ තමන් වහන්සේ වෙත පැමිණෙන, නුවණ නමැති කඩුවෙන් පරවාදයන් සිඳලීමට සමත් තියුණු නුවණැති ක්ෂත්‍රිය පණ්ඩිතයන් ද, බ්‍රාහ්මණ පණ්ඩිතයන් ද, ශ්‍රමණ පණ්ඩිතයන් ද, දේශනා විලාස නමැති ඖෂධයෙන් අභිභවනය කොට තමන් වහන්සේගේ වශයට ගනිති. බොහෝ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ පණ්ඩිතයෝ තථාගතයන් වහන්සේ පරදවන්නට සිතා විසඳීමට දුෂ්කර වූ නොයෙක් ප්‍රශ්නයක් ගොතා ගෙන උන් වහන්සේ වෙත පැමිණ උන් වන්සේගේ දේශනය අසා ගොතා ගෙන ආ ප්‍රශ්න නො විචාරා උන් වහන්සේගේ ශ්‍රාවක බවට පැමිණෙති. තථාගතයන් වහන්සේ අප්‍රමාණ චක්‍රවාළයන්හි වෙසෙන මනුෂ්‍ය දේවබ්‍රහ්මාදි සකලසත්ත්වයන් ම පිනෙන් ද ශීලයෙන් ද සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද අභිභවනය කොට සිටින සේක. එබැවින් උන් වහන්සේ ලෝකයෙහි අතුල්‍ය වෙති, අප්‍රමෙය්‍ය වෙති, අනුත්තර වෙති, රජුන්ට රජ වෙති, දෙවියන්ට දෙවි වෙති, බ්‍රාහ්මයන්ට අතිබ්‍රහ්ම වෙති. මෙසේ කරුණු අටකින් බුදුන් වහන්සේ තථාගත නම් වන සේක.

5. ලෝකවිදූ ගුණය

ලෝකය ඉතා විශාල ය. එයින් අප දන්නා ඉතා සුළු කොටසකි. නොදන්නා හරිය ම ඉතා බොහෝ ය. ලෝකයෙන් අප දන්නා හරිය දිය බිඳක් පමණ ය. නො දන්නා හරිය මහසයුර පමණය යි කිව ද උපමාව හරි නැත. අප දන්නා හරිය එක් වැලිකැටයක් පමණය, නොදන්නා හරිය පොළොවේ වැලිකැට පමණය යි කිව ද උපමාව වැරදි ය. අප දන්නා හරිය නියපිටට ගත් පස් ටිකක් තරම ය, නො දන්නා හරිය පොළොවේ පස් පමණය යි කිව ද උපමාව හරි නැත. ලෝකයෙන් අප දන්නා නො දන්නා ප්‍රමාණ දැක්වීමට උපමාවකුදු නැත. භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සකල ලෝකය සර්වාකාරයෙන් දැන වදාළ සේක. එබැවින් උන්වහන්සේ ලෝකවිදූ නම් වන සේක.

සියල්ල දත් බව කියැවෙන සම්මාසම්බුද්ධ යන පදයෙන් ලෝකය දත් බව ද කියැ වේ. ලෝකය සම්මාසම්බුද්ධ පදයෙන් කියැවෙන සියල්ලට අයත් දෙයකි. එසේ තිබියදී මේ නවගුණපාඨයට ලෝකවිදූ යනු ඇතුළත් කළේ කුමට ද? යන පැනය මෙහිදී මතුවෙයි. එහෙත් අටුවා ටීකාවල, පැරණි බණ පොත් වල ඒ ප්‍රශ්න විසඳා තිබෙනු නො දක්නා ලදී. එය පිළිබඳ අප අදහස මෙසේ ය.

ලෝකයෙහි සෙස්සන් ඒ ඒ දේ දැන ගන්නේ උගෙන ගන්නේ ගුරුන්ගෙනි. සම්මාසම්බුද්ධ යන පදයෙන් ලෝකය දන්නා බව කියැවෙන නුමුත් එය අසන්නහුයේ සිතට වඩා මතු වී දැනෙන්නේ තථාගතයන් වහන්සේ දත් දෙය නොව උන්වහන්සේ ගුරුන් ඇසුරු නො කොට ස්වශක්තියෙන් දත්බව හා නිවැරදි ලෙස දත්බව ය. සෑම සත්ත්වයෙක් ම ලෝකයට අයත් ය, ලෝකයෙන් කොටසක්ය. එහෙත් සත්ත්වයෝ ලෝකය ගැන හා තමන් ගැන නො දනිති. තමන් ඇති වූයේ කෙසේ ද? තමන්ගේ අනාගතය කෙසේ ද? මරණින් පසු තමන්ට වන්නේ කුමක් ද? යන මේ කරුණු දැනගැනීමේ ආශාව බොහෝ දෙනකුන්ට ඇත්තේ ය. එබැවින් ලෝකවිදූ යන ගුණය ඇසූ කල්හි ඔවුනට තථාගතයන් වහන්සේ ඇසුරු කිරීමේ ආශාව, උන් වහන්සේගේ දේශනා ඇසීමේ ආශාව ඇති වේ. එබැවින් මේ බුදුගුණ පාඨයට ලෝකවිදූ යන පදය ඇතුළත් කරන ලදැ යි සිතමු.

ලෝකවිදූ ගුණය විස්තර කළ යුත්තේ ලෝකය යනු කුමක් ද? ලෝකය සෑදී තිබෙන්නේ කුමකින්ද? ලෝකය ඇතිවූයේ කෙසේ ද? ලෝකය කොතෙක් පරණ ද? ලෝකයේ විශාලත්වය කොපමණ ද? ලෝකයේ ප්‍රභේද කවරහු ද? යන මේ ප්‍රශ්න විසඳීමෙනි. ඉදිරියට මේ ප්‍රශ්න බුද්ධ දේශනය අනුව විසඳනු ලැබේ.

ලෝකය යි කියනුයේ සත්ත්වයන් වශයෙන් හා අසත්ත්ව වස්තු වශයෙන් ද, ධාතු වශයෙන් ද, ගුණ වශයෙන් ද ඇත්තා වූ සියල්ලට ය.

ලෝකය සෑදී ඇත්තේ කුමකින් ද? යන බව ඉතා කොටින් කියතොත් ‘නාමරූප දෙකිනැ’යි කිය යුතු ය. නාම නම් සත්ත්වයන් තුළ ඇති වන දැනීම් විඳීම් කිපීම් ඇලීම් ආදිය ය. රූප නම් මහා භූත සතර හා ඒවා නිසා පවත්නා වූ වර්ණ ගන්ධාදිය ය. ලෝකයෙහි හරය වශයෙන් ඇත්තේ පරමාර්ථ වශයෙන් ඇත්තේ ඒ නාම රූප දෙකය.

තවත් ක්‍රමයකින් කියත හොත් බුදුසමයෙහි ස්කන්ධ යන නාමය ව්‍යාවාහර කරන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේවායින් ලෝකය සෑදී ඇතැ යි කිය යුතු ය. ලෝකය විභාග කළා ම එහි ඇති දේවල් සැටියට ලැබෙන්නේ ඒ ස්කන්ධ පඤ්චකය ය.

තවත් ක්‍රමයකින් කියත හොත් ද්වාදසායතනයන්ගෙන් ලෝකය සෑදී ඇත යි කිය යුතු ය. ආයතන දොළොස නම් චක්ඛායතනය, රූපායතනය, සෝතායතනය, සද්දායතනය, ඝාණායතනය, ගන්ධායතනය, ජිව්හායතනය, රසායතනය, කායාතනය, ඵොට්ඨබ්බායතනය, මනායතනය, ධම්මායතනය යන මොහු ය. ආයතන වශයෙන් ලෝකය විභාග කළා ම එහි හරය වශයෙන් ලැබෙන්නේ ආයතන දොළොස ය.

තවත් ක්‍රමයකින් කියත හොත් අටළොස් ධාතූන්ගෙන් ලෝකය නිර්මිත වී ඇතය යි කිය යුතු ය. ධාතු අටළොස නම් චක්ඛුධාතු, රූපධාතු, චක්ඛුවිඤ්ඤාන ධාතු, සෝතධාතු, සද්දධාතු, සෝතවිඤ්ඤාණධාතු, ඝාණධාතු, ගන්ධධාතු, ඝාණවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු, රසධාතු, ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු, ඵොට්ඨබ්බධාතු, කායවිඤ්ඤාධාතු, මනෝධාතු, ධම්මධාතු, මනෝවිඤ්ඤාණධාතු යන මොහු ය. ධාතු ක්‍රමයෙන් ලෝකය විභාග කළා ම එහි හරය වශයෙන් ලැබෙන්නේ ධාතු අටළොස ය. මෙහිදී ස්කන්ධ ආයතන ධාතූන් විස්තර කළ යුතු වුව ද, ග්‍රන්ථය දීර්ඝ වන බැවින් මෙහි විස්තර නො කරනු ලැබේ. ඒවා අභිධර්ම ග්‍රන්ථවලින් දත යුතුය. අප විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය, විදර්ශනා භාවනා ක්‍රමය, චතුරාර්‍ය්‍ය සත්‍යය යන ග්‍රන්ථවලින් ද ඒවා පිළිබඳ දැනුමක් ලැබිය හැකි ය.

ලෝකයේ ඇතිවූයේ කෙසේද? යනු ගැඹුරු පැනයෙකි. ලෝකය ඇති වීම ගැන කල්පනා කළ ඇතැම්හු ඇඳ පුටු මේස රිය ගෙවල් ආදිය කෙනකු විසින් නො සෑදුව හොත් ඉබේ ඇති නො වන්නාක් මෙන් අනේකප්‍රකාර සත්ත්වයන්ගෙන් වෘක්ෂලතාදි වස්තූන්ගෙන් යුක්තවන මේ ලෝකය කෙනකු විසින් නො සාදන ලද නම් මෙසේ ක්‍රමානුකූලව ඇති විය නො හැකි ය. ලෝකය මෙසේ ක්‍රමානුකූලව ඇති වී පවත්වන්නේ යම් කිසිවකු විසින් මෙය ඇති කරන ලද නිසා ය යි සිතූහ. වඩුවකු ඇඳක් - පුටුවක් තනන්නාක් මෙන් ද්‍රව්‍ය එකතු කොට කපා කොටා ද මේ ලෝකය නො තැනිය හැකිය. මෙය තැනිය හැකි වීමට සිතීම් මාත්‍රයෙන් ඒ ඒ දෙය නිර්මාණ වීමේ බලයක් ඇති පුද්ගලයෙකු විය යුතුය යි ද සිතූහ. එ බඳු මහාබලයක් ඇතියකු මේ ලෝකයේ මිනිසුන් අතර දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන් ලොවක වෙසෙන පුද්ගලයෙකු විය යුතුය යි සිතා ගත්හ. දෙවියන් වහන්සේ ය, බ්‍රහ්මයා ය, ඊශ්වරයා ය කියා නොයෙක් නම් ඔවුහු මැවුම්කරුට තබා ගත්හ. මැවුම්කාරයකු ඇති නම් ඔහුත් ලෝකයේ කොටසක් විය යුතු බව හෝ ඔහුත් රූපාදිය ම විය යුතු බව හෝ මැවීමට කෙනෙකු සිටිය යුතු නම් මැවුම් කරු මවන්නටත් කෙනෙක් වුවමනා බව හෝ ඔවුහු කල්පනා නො කළහ. ඔවුහු තමන් විසින් ම සිතින් මවා ගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිදීමටත් සැපයට පැමිණීමටත් සිතූහ. සියල්ල පිළිබඳව ම සම්මෝහය දුරු කර ගත් තථාගතයන් වහන්සේ වනාහි ලෝකය කෙනකු විසින් මැවිය හැකියක් නො වන බව දත් සේක. ලෝකය පුද්ගලයෙකු විසින් මැවිය යුත්තක් නම්, සත්ත්ව ලෝකයට අයත් වන මැවුම්කරුට ඇති විය නො හැකි බවත් දැන වදාළ සේක. බීජයෙන් ගසත් ගසින් බීජයත් ඇතිවීමෙන් ගස් පරම්පරාව නො සිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්වලෝක සංස්කාරලෝක අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක. මවන්නකු නැති ව සංසාරයේ නො සිඳී පැවැත්ම සිදු වන සැටි තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේ ය. එක් භවයක දී ඇති වන තණ්හාව නිසා මරණින් භවය සිඳී නොගොස් නැවත ද උපදී. උපන් පසු එහි ද නැවත තණ්හාව ඇති වේ. ඒ නිසා මරණින් පසු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නො සිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇතිවීම් වශයෙන් නැවත ද උපදී. උපන් පසු නැවත ද කර්මය කරයි. මෙසේ කර්මය නිසා විපාක ද විපාක නිසා කර්මය ද ඇතිවීමෙන් සංසාරය නො සිඳී පවතී. අවිද්‍යාදි හේතු ධර්මයන් නිසාද සංස්කාරාදි ඵල ඇතිවීම නිසා ද සංසාරය නො සිඳී පවතී.

ලෝකයේ මුල

යමක් ඇති නම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යායයෙහි පිහිටා ඇතැම්හු ලෝකයේ හා සත්ත්වයාගේ මුල සොයන්නට ගොස් නොයෙක් මිථ්‍යා අදහස් ඇති කර ගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන් ද ඇති වීමෙන් සංසාරය නො සිඳී පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව දැන වදාළ සේක. “අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති” යනුවෙන් “මහණෙනි, සංසාරය නො දන්නා ලද අග ඇතියක, එහි පෙර කොන නො පෙනේ ය”යි තථාගතයන් වහන්සේ වදාළහ. සංසාරයේ පටන් ගැනීම, මුල් කොන නො පෙනේය”යි තථාගතයන් වහන්සේ වදාළේ ඇත්තා වූ සංසාරයේ මුල් කොන උන්වහන්සේට නො පෙනෙන නිසා නොව එහි පටන් ගැනීමක් නැති නිසා ය.

යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නො වේ. ආකාශය ඇති බව සියල්ලෝ ම පිළිගනිති. එහෙත් එහි පටන් ගැනීමක් නැත. පටන් ගැනීමක් ඇති වන්නට නම් ආකාශය නො තුබූ කාලයක් තිබිය යුතුය. එබඳු කාලයක් නො විය හැකි ය. ආකාශය දීර්ඝ කාලයක් හිස් ව තිබී පසු ව එය තුළ ලෝක ධාතු හා සත්ත්වයන් ඇතිවීමට හේතුවක් නැත. මේ ආකාශයේ මුලින් කිසිවක් නො තුබුණා නම් සැම කල්හි ම එය ඒ සැටියෙන් ම තිබිය යුතු ය. ආකාශය තුළ ලෝක ධාතූන් ඇත්තේ සත්ත්වයන් ඇත්තේ ඒවා ද ආකාශය සේම ආකාශය තුළ තුබූ නිසා ය. යම් සේ අහසේ පටන් ගැනීමක් නො ලැබිය හැකි ද එමෙන් ආකාශය තුළ පවත්නා සත්ත්ව සංස්කාරයන් පිළිබඳ පටන් ගැනීමක් නැති බව කිය යුතු ය. පටන් ගැනීමක් නැති ලෝකය ඉතා පරණ වුව ද එහි සෑම කල්හි ම අලුත් බවක් ද ඇත්තේ ය. උපන් සත්ත්වයෝ මැරී නැවත ඉපද අලුත් වෙති. ලෝකයෙහි ඇති අනික් සියල්ල ද නැසී නැසී නැවත නැවත අලුත් දේ පහළ වේ. මහපොළෝ ආදි ලෝකධාතූහු ද කලකට විනාශ වී ගොස් නැවත අලුතෙන් පහළ වෙති. අලුතෙන් ඇතිවන සියල්ල ම පුරාණ වස්තූන්ගේ විකෘති ලෙස කිව ද වරද නැත, පරණ දේ නිසා පුරාණ ධාතූන් නිසා ඇතිවන අලුත් දේය කිව ද වරද නැත.

ලෝකයේ පෞරාණිකත්වය අනමතග්ගසංයුත්තයේ එන සූත්‍ර දේශනා අනුව කිව යුතුය. කල්පය වනාහි වර්ෂගණනාවෙන් ප්‍රමාණ කළ නොහෙන අතිදීර්ඝ කාලයෙකි. දිනක් එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරදුන් වෙත පැමිණ “පින්වත් ගෞතමයන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප කෙතෙක් වන්නාහුදැ”යි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝය, ඒවා මෙපමණ සියගණනක්ය කියා හෝ මෙපමණ දහස් ගනණෙක ලක්ෂගණනෙක කියා හෝ ප්‍රමාණ කිරීමට නුපුළුවනැ”යි වදාළ සේක. “උපමාවකින් එය දැක්විය හැකිදැ”යි බ්‍රාහ්මණයා ඇසූ කල්හි “බ්‍රාහ්මණය, මේ ගංගානදිය පටන්ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා අතරතුර ඇති වැලිකැට ගණන ප්‍රමාණ කළ නො හෙන්නාක් මෙන් අතීත කල්ප ගණන ප්‍රමාණ නො කළ හැකි බව වදාරා, සංසාරය නො දන්නා ලද අග ඇතියක් හෙවත් පටන් ගැනීමක් නැතියක් බව වදාළ සේක.

(අනමතග්ග සංයුක්ත)

දිනක් එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, කල්පය කොතෙක් දික් වන්නේ දැ”යි ඇසීය. “මහණ කල්පය ඉතා දිගය, එය මෙපමණ වර්ෂ ගණනක්ය, මෙපමණ වර්ෂ සිය ගණනක්ය, මෙපමණ වර්ෂ දහස් ගණනක්ය, මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක්ය කියා ගණනින් ප්‍රමාණ නොකළ හැකිය” යි තථාගතයන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, උපමාවක් දැක්විය හැකිදැ”යි භික්ෂුව කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් “මහණ, දිගු පුළුලින් යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒකඝන මහ කළුගලක් සිය වසකට වරක් කසී සළුවකින් පිස දැමුව හොත් ඒ කළුගල කලකදී ගෙවී යන්නේ ය. එහෙත් එපමණ කලකින් කල්පය ගෙවී නොයන්නේ ය”යි වදාළහ.

(අනමතග්ග සංයුක්ත)

ලෝකයේ විශාලත්වය මෙසේ දත යුතුය. එක් ලෝකධාතුවක හෙවත් සක්වළක භූමි එක් තිසක් ඇත්තේය. ඒ මෙසේය:- නරකය, තිරිසන්යෝනිය, ප්‍රේතවිෂය, අසුරකාය කියා අපාය භූමි සතරකි.

මනුෂ්‍ය භූමිය, චාතුර්මහාරාජික භූමිය, තාවතිංස භූමිය, යාම භූමිය, තුෂිත භූමිය, නිර්මාණරති භූමිය, පරනිර්මිත වශවර්ති භූමිය කියා කාම සුගති භූමි සතක් ඇත්තේය.

බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මයයි ප්‍රථමධ්‍යාන භූමි තුනෙකි.

පරිත්තාහ, අප්පමාණහ, ආභස්සරය යි ද්විතීය ධ්‍යාන භූමි තුනෙකි.

පරිත්තසුභ, අප්පමානසුභ, සුභකිණ්ණය යි තෘතීයධ්‍යාන භූමි තුනෙකි.

වේහප්ඵලය, අසඤ්ඤසත්තය, සුද්ධාවාසය කියා චතුර්ථධ්‍යාන භූමි සතක් ඇත්තේය. අවිහ-අතප්ප-සුදස්ස-සුදස්සී-අකනිට්ඨ කියා සුද්ධාවාස පසෙකි. මේ භූමි සොළස රූපාවචර භූමිහු ය.

අකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි අරූපාවචර භූමි සතරෙකි. මෙසේ භූමි එක්තිසක් වේ. සඤ්ජීව කාලසූත්‍රාදි වශයෙන් නරකය අටවැදෑරුම් වේ. එක් මහානරකයක් අවට කුඩා නරක සොළොස බැගින් ද ඇත්තේ ය.

අංගුත්තර නිකාය තිකනිපාතයේ ද්විතීය පණ්ණාසකයේ ආනන්දවග්ගයේ දශවන සූත්‍රයෙහි දැක්වෙන ලෝකධාතු විභාගය අනුව ලෝකයේ විශාලත්වය සැලකිය යුතුය. එක් හිරකින් එක් සඳකින් ආලෝකවත් කරන ඉහත කී එක්තිස් භූමියකින් යුක්ත වන තැන එක් ලෝකධාතුවෙකි. එබඳු ලෝකධාතු දහසක් සහශ්‍රී ලෝකධාතු නම් වේ. චූළනී ලෝකධාතු නමුදු වේ. චූළනිකා ලෝකධාතු දහස දහසින් ගුණ කළ කල්හි දශලක්ෂයක් වෙයි. ඒ ලෝක දශලක්ෂය ද්විසහශ්‍රී ලෝක ධාතුව නම් වේ. මධ්‍යම ලෝක ධාතු නමුදු වේ. දශ ලක්ෂයක් වන මධ්‍යම ලෝක ධාතුව නැවත දහසින් ගුණ කළ කල්හි කෝටි ලක්ෂයක් වෙයි. ඒ කෝටිලක්ෂයක් සක්වළ ත්‍රිසහශ්‍රී ලෝක ධාතුව නම් වෙයි. මහාසහශ්‍රී ලෝකධාතුවය නමුදු වෙයි. මේ සක්වළ හා මෙයට සමීපව පිහිටි සක්වළ නවසිය අනූනවය සහශ්‍රී ලෝකධාතුවය. එය ශ්‍රාවකයනට ද විෂය ය. සෘද්ධිමත් ශ්‍රාවකයන්ට ඒ සක්වළ දහසට ඇසෙන සේ කථා කළ හැකිය. ඒ සක්වළ දහසෙහි ආලෝක අන්ධකාර පැතිර විය හැකිය. මේ සක්වළ හා අවට පිහිටි දශලක්ෂයක් සක්වළ ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවය. එය බුදුවරුන්ගේ ජාතික්ෂේත්‍රයයි ද, මහබෝසතුන්ගේ මවුකුස පිළිසිඳීම, එයින් බිහි වීම, මහාභිනිෂ්ක්‍රමණය, බුදුවීම, දම්සක් පැවැත්වීම, ආයුසංස්කාරය හැරීම, පරිනිර්වාණය යන අවස්ථාවන්හි ඒ මධ්‍යමලෝක ධාතුව කම්පිත වන බවද අංගුත්තර අටුවාවෙහි දක්වා තිබේ. අන් බොහෝ තැන්වල දැක්වෙන්නේ මහබෝසතුන්ගේ පිළිසිඳ ගැනීම් ආදියෙහි සක්වල දසදහසක් කම්පාවන බවය. මේ සක්වළත් සමඟ කෝටිලක්ෂයක් සක්වළ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේගේ ආඥාක්ෂේත්‍රය ය. එහි ආටානාටිය පරිත්ත, ඉසිගිලි පරිත්ත, ධජග්ග පරිත්ත, බොජ්ඣංග පරිත්ත, ඛන්ධ පරිත්ත, මෝර පරිත්ත, මෙත්තපරිත්ත, රතන පරිත්ත යන මේවායේ බලය පිහිටන බව කියා තිබේ. තථාගතයන් වහන්සේගේ ආඥා බලය ඒ සක්වල කෝටි ලක්ෂයෙහි පවත්නා බැවින් ත්‍රිසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේගේ ආඥාක්ෂේත්‍රය වේ. ත්‍රිසහශ්‍රී ලෝකධාතුවෙන් ඔබ ඇති සක්වළ සියල්ල තථාගතයන් වහන්සේගේ විෂයක්ෂේත්‍රය ය. එහි ප්‍රමාණයක් නැත්තේ ය. එය අනන්ත ය. ඒ සක්වළ සියල්ලට ම තථාගතයන් වහන්සේට ආලෝක අන්ධකාරයන් පැතිරවිය හැකි ය. සැමතැනම වෙසෙන සත්ත්වයනට ඇසෙන සේ කථා කළ හැකි ය. චක්‍රාවාළයන්ගේ බොහෝ බව දැක්වීමට අටුවාවෙහි දක්වා ඇති උපමාවක් මෙසේ ය. “කෝටි ලක්ෂයක් සක්වළවල බ්‍රහ්මලෝකය දක්වා පිරවීමට තරම් අබ ඇට ගෙන යම් කිසිවකු හමුවන හමුවන සක්වළට එක අබ ඇටය බැගින් හෙළමින් එක් දිශාවක් බලා ගමන් කළ හොත් අබ ඇට රාශිය ඉවර වෙනවා මිස ඒ දිශාවේ සක්වලවල් අවසන් නොවේය” යනු ඒ උපමාව ය. මෙසේ අතිමහත් වූ අනන්ත වූ ලෝකය දැන වදාළ බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක.

සත්ත්වලෝකය, සංස්කාරලෝකය, අවකාශ ලෝකයයි ද ලෝකය තෙවැදැරුම් වේ. සත්ත්ව සමූහය සත්ත්වලෝක නම් වේ. සත්ත්වයන්ගෙන් අන්‍ය වූ පොළොව-කඳු-ගස්-වැල් ආදිය අවකාශ ලෝක නමි. ඒ ලෝක දෙකට අයත් රූප වේදනාදි සංස්කාරයෝ සංස්කාර ලෝක නම් වෙති.

රූපාදීන්හි ඇලී සිටින්නෝ ය යන අර්ථයෙන් තෘෂ්ණාව සහිත ස්කන්ධයෝ සත්ත්ව නම් වෙති. “ලෝකීයති එත්ථ කුසලාකුසලං තබ්බිපාකොචාති ලොකො” යි දැක්වෙන පරිදි කුශලාකුශලයන් හා විපාක ඔවුන් කෙරෙහි දැකිය හැකි බැවින් සත්ත්ව සමූහය ලෝක නම් වේ. සත්ත්වයන් හා සංස්කාරයන් එහි දැකිය හැකිය යන අර්ථයෙන් පොළොව-කඳු-ගස්-ගල් ආදිය ලෝක නම් වේ. “ලුජ්ජති පලුජ්ජතීති ලොකො” යි දැක්වෙන පරිදි සම්පූර්ණයෙන් විනාශ වීම, කොටස් වශයෙන් විනාශ වී පලුදු වීම ඇති බැවින් සංස්කාර සමූහය ලෝක නම් වේ. මේ තුන් ආකාර ලෝකය දැන වදාළ බැවින් තථාගතයන් වහන්සේ “ලෝකවිදූ නම් වන සේක.

“සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො” යනාදීන් අංගුත්තර නිකාය සප්තක නිපාතයෙහි විඥානස්ථිතීන්ගේ වශයෙන් සත්ත්වලෝකය සත් අයුරකින් බෙදා වදාරා තිබේ. විඥානස්ථිති යනු ප්‍රතිසන්ධි විඥානය ඇතිවන ස්ථානයෝ ය. ප්‍රතිසන්ධි විඥානය ඇති වන්නේ සත්ත්වයන් කෙරෙහි ය. එබැවින් සත්ත්වයෝ ම විඥානස්ථීතීහු නම් වෙති.

නානත්වකාය නානත්වසඤ්ඤීහු ය, නානත්වකාය ඒකත්වසඤ්ඤීහුය, ඒකත්වකාය නානත්වසඤ්ඤීහුය, ඒකත්වකාය එකත්ව සඤ්ඤීහුය, අකාසානඤ්චායතනූපගයෝ ය, විඤ්ඤාණඤ්චායතනූපගයෝ ය, ආකිඤ්චඤ්ඤායතනූපයෝග ය කියා විඥානස්ථිතීන්ගේ වශයෙන් සත්ත්වයෝ සත් කොටසක් වෙති.

කයෙහි හා ප්‍රතිසන්ධි සංඥාවෙහි වෙනස්වීම් ඇති සත්ත්වයෝ නානත්වකාය නානත්වසංඤී සත්ත්වයෝය. මනුෂ්‍යයෝ ය, චාතුර්මහාරාජිකාදි දිව්‍යලෝක සයෙහි දෙවියෝ ය, ඇතැම් විනිපාතිකයෝ ය යන මොවුහු නානාත්වකාය නානාත්වසංඤීහු ය.

අනන්ත චක්‍රවාළයන්හි වෙසෙන සියලු ම මනුෂ්‍යයෝ වර්ණ සංස්ථානාදියෙන් එකිනෙකට වෙනස් වෙති. ඔවුන් අතර සර්වාකාරයෙන් සමාන දෙදෙනෙක් නැතහ. නිවුන් දරුවෝ ද ඔවුනොවුන් බෙහෙවින් සමාන වතුදු සර්වාකාරයෙන් සම නො වෙති. ඔවුන්ගෙන් ඇතමෙක් අහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, එබැවින් ප්‍රතිසන්ධි සංඥාවෙන් ද ඔවුහු එකිනෙකා වෙනස් වූවෝ ය. එබැවින් සියලු ම මනුෂ්‍යයෝ නානත්වකාය නානත්වසංඤීහූ වෙති, කාමාවචර දිව්‍යලෝක සයෙහි දෙවියෝ ද නොයෙක් පැහැ ඇත්තෝ ය. නොයෙක් සටහන් නොයෙක් ප්‍රමාණ ඇත්තෝ ය. ඔවුන්ගෙන් ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය. එබැවින් ඔවුහු නානත්වකාය නාවත්වසංඤීහු ය.

විනිපාතිකයෝ නම්, ප්‍රේතයන්ට ද අයත් නොවන, දෙවියන්ට සේ යස ඉසුරු නැති, සෑහෙන තරමට ආහාරපාන නො ලබන, ඇඳුම් පැළඳුම් නො ලබන, චාතුර්මහාරාජිත දිව්‍යලෝකයට අයත් වන මේ මිනිස්ලොව ම හැසිරෙන දුප්පත් සත්ත්ව කොට්ඨාසයෙකි. ඔවුහු නානාවර්ණ ඇත්තෝ ය. නොයෙක් සටහන් ඇත්තෝ ය. ඇතැම්හු කෘෂයෝ ය. ඇතැම්හු ස්ථුලයෝ ය. ඇතැම්හු කුඩා සිරුරු ඇත්තෝ ය. ඇතැම්හු මහත් සිරුරු ඇත්තෝ ය. ප්‍රතිසන්ධි සංඥා වශයෙන් ඔවුන්ගෙන් ඇතමෙක් අහේතුකයෝ ය. ඇතමෙක් ද්විහේතුකයෝ ය. ඇතමෙක් ත්‍රිහේතුකයෝ ය. එබැවින් ඔවුහු ද නානත්ත්වකාය නානත්වසංඤීහු ය, විනිපාතිකයන් දුඃඛිත සත්ත්වකොට්ඨාසයක් වුව ද ඔවුන් අතර සිටි ඇතැම් ත්‍රිහේතුක ප්‍රතිසංධිකයෝ මඟ පල ද ලබති. උත්තරමාතා නම් විනිපාතිකාව අනුරුදු තෙරුන් වහන්සේගේ ධර්මසජ්ඣායනාවක් අසා සෝවාන් වූ බවද, පුනබ්බසුමාතා නම් විනිපාතිකාව හා ඇගේ පුත්‍රයා ද බුදුරදුන්ගේ දහම් දෙසුමකට කන් දී සෝවාන් වූ බව ද යක්ඛසංයුත්තයේ දක්වා තිබේ.

ඔවුනොවුන්ට වෙනස් කය ඇති ව එක ම ප්‍රතිසන්ධි සංඥාවක් ඇත්තෝ නානත්වකාය ඒකත්වසංඤීහු ය. බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්මපුරෝහිත, මහා බ්‍රහ්ම යන ප්‍රථම ධ්‍යාන රූපාවචර භූමි තුනෙහි බ්‍රහ්මයන් හා සතර අපායට අයත් සත්ත්වයෝ ඔවුනොවුන්ට වෙනස් කය ඇති එකම ප්‍රතිසන්ධිසංඥාවක් ඇති සත්ත්වයෝ ය. බ්‍රහ්මපාරිසජ්‍යවාසීන්ගේ කයට මහත් කයක් හා ආලෝකයක් බ්‍රහ්මපුරෝහිත භූමි වාසීන්ට ඇත්තේ ය. ඔවුන්ගේ කයට ද මහත් කයක් හා මහත් ආලෝකයක් මහා බ්‍රහ්ම භූමියෙහි බ්‍රහ්මයන්ට ඇත්තේ ය. ශරීරවලින් ඔවුනොවුන්ට වෙනස් වූ ඒ භූමිත්‍රයෙහි බ්‍රහ්මයන් සැම දෙන ම පිළිසිඳ ගන්නේ ප්‍රථමධ්‍යාන විපාක සංඥාව නමැති එකම සංඥාවෙනි. එබැවින් ඔවුහු නානත්තකාය ඒකත්තසඤ්ඤීහු ය. සතර අපායෙන් නරකයෙහි ඇතැම් සත්ත්වයන්ගේ ශරීරය ගව් පමණ වේ. ඇතැමෙකුගේ ශරීරය අඩ යොදුන, යොදුන පමණ වේ. දේවදත්තගේ කය සිය යොදුනකි. තිරිසනුගෙන් ද ඇතැම්හු කුඩා ශරීර ඇත්තෝ ය. ඇතැම්හු මහත් ශරීර ඇත්තෝ ය. වර්ණ වශයෙන් අනේක වර්ණ ඇත්තෝ ය. අනේක සටහන් ඇත්තෝ ය. ප්‍රේතයෝ ද එසේම ය. ඇතැම් ප්‍රේතයෝ සැටරියන් පමණ කය ඇත්තෝ ය. ඇතැම්හු අසූරියන් පමණ කය ඇත්තෝ ය. දීඝපිට්ඨික නම් සැට යොදුනක් කය ඇති ප්‍රේතයන් ද ඇති බව කියා තිබේ. ශරීරයෙන් නානාප්‍රකාර වන ඔවුන් සැම දෙන ම පිළිසිඳ ගන්නේ අකුශලවිපාකාහේතුක සංඥාව නමැති එකම සංඥාවකිනි. එබැවින් ඔවුහු නානත්තකාය ඒකත්තසඤ්ඤීහු වෙති.

පරිත්තාභ, අප්පමාණාභ, ආභස්සර යන ද්වීතීයධ්‍යාන භූමි තුනෙහි බ්‍රහ්මයෝ ශරීරයෙන් සමාන වෙති. ඔවුන්ගෙන් ඇතැමෙකු පිළිසිඳ ගන්නේ ද්විතීයධ්‍යාන රූපාවචර විපාක සංඥාවෙනි. ඇතැමෙකු පිළිසිඳ ගන්නේ රූපාවචර විපාක තෘතීයධ්‍යාන සංඥාවෙනි. එබැවින් ඔවුහු ඒකත්තකාය නානත්තසඤ්ඤීහු ය.

පරිත්තසුභ, අප්පමාණ සුභ, සුභකිණ්ණ යන භූමි තුනෙහි බ්‍රහ්මයෝ සමාන ශරීර ඇත්තෝය. සෑම දෙනම රූපාවචර චතුර්ථධ්‍යාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝ ය. එබැවින් ඔවුහු ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූය. වේහප්ඵල භූමියෙහි බ්‍රහ්මයෝ ද සමාන ශරීර ඇත්තෝ ය. පඤ්චමධ්‍යාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝ ය. එබැවින් ඔවුහු ද ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූය. අසංඥ භූමියෙහි ප්‍රතිසන්ධිවිඥානයක් නොලැබෙන බැවින් එහි සත්ත්වයෝ මේ විඥානස්ථිති විභාගයට නොගන්නා ලදහ. අබුද්ධෝත්පාද කාලවල තීර්ථායතනයන්හි පැවිදිව වායෝකසිණ භාවනාවෙන් චතුර්ථධ්‍යානය උපදවා එයින් නැගිට “සිත පිළිකුල් කළ යුතුය. සිත නැති බවම යහපති, වධබන්ධනාදි අනේක දුක් නැතය”යි සලකන යෝගීහු “ධී චිත්තං ධී චිත්තං”යි චිත්ත විරාග භාවනාව කොට සිතක් නැති බවට කැමති ව කාලක්‍රියා කොට අසංඥ භවයෙහි රූපය පමණක් ඇතිව ඉපද කල්ප පන්සියයක් එහි අචිත්තක ශරීරයෙන් නිශ්චල ව ජීවත් වෙති. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන ශුද්ධාවාසභූමිහු අනාගාමී, අරහත් ආර්‍ය්‍යන්ගේ වාසස්ථානයෝ ය. අනාගාමීන් හා රහත්හු ලෝකයෙහි සැම කල්හි නැතහ. ඒවායේ වෙසෙන අනාගාමී, රහතුන් පිරිනිවී ගිය පසු ලෝකයෙහි බුදු කෙනකුන් පහළ නොවුව හොත් ඒ භූමි සිස් වන්නේය. සෑම කල්හිම ඒ භූමීන්හි සත්ත්වයන් නැති බැවින් ඒවා මේ විඥානස්ථිති විභාගයට නොගත යුතුයයි ද කියති. පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණ, වේහප්ඵල, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන නව භූමියෙහිම බ්‍රහ්මයෝ ඒකත්වකාය එකත්වසංඤී සත්ත්වයන් වශයෙන් ගත යුත්තාහ යි ද කියති. නේවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප භූමියෙහි, සත්ත්වයනට ඇතය යි ද නො කිය හැකි, නැතය යි ද නො කිය හැකි ඉතා සියුම් සංඥාවක් මිස ප්‍රකට සංඥාවක් නැති බැවින් ඒ අරූපී සත්ත්වයෝ ද විඥානස්ථිති විභාගයට නො ගන්නා ලදහ. මෙ සේ සත්ත්වලෝක විභාගය දත් බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදූ නම් වන්නාහ.

කාමභවය - රූපභවය - අරූපභවය - සංඥාභවය - අසංඥාභවය - නේවාසඤ්ඤානාසඤ්ඤාභවය - ඒකවෝකාරභවය - චතුවෝකාරභවය - පඤ්චවෝකාරභවය යන නව වැදෑරුම් භවයන්ගේ වශයෙන් ලෝකය දැන වදාළ හෙයින් ද, ලාභය - අලාභය - යශය - අයශය - නින්දාය - පසංසාය - සුඛය - දුඃඛය යන අෂ්ටලෝක ධර්මය අනුව ලෝකය පරිවර්තනය වීම දැන වදාළ හෙයින් ද , සත්ත්වයන්ගේ ආශය - අනුශය - චරිත - අධිමුක්ති දන්නා හෙයින් ද , අල්පරජස්ක - මහාරජස්ක - තීක්ෂණේන්ද්‍රිය - මෘද්වින්ද්‍රිය - ස්වාකාර - ද්වාකාර - සුවිඥාප්‍ය - දුර්විඥාප්‍ය, භව්‍යාභව්‍ය වශයෙන් සත්ත්ව ලෝක විභාග දන්නා හෙයින් ද, ස්වාභාව සමුදය නිරෝධ නිරෝධූපාය වශයෙන් ලෝකය දැන වදාළ හෙයින් ද, තථාගතයන් ද වහන්සේ ලෝකවිදූ නම් වන සේක.

6. අනුත්තර පුරිසදම්මසාරථී ගුණය

දමනය කළ යුතු පුද්ගලයන් ඉතාම ශීලාචාර වන පරිදි, ඉතා ගුණවත් වන පරිදි, ඉතා ශාන්ත වන පරිදි, නැවත වෙනස් වී රෞද්‍ර නොවන පරිදි දමනය කිරීමට සමත් වන බැවින් ද රජුන් විසින් හෝ ශක්‍රාදි දෙවියන් විසින් හෝ බ්‍රාහ්මණයන් විසින් හෝ දමනය කළ නොහෙන අතිචණ්ඩ අතිමානී අතිකෛරාටිකයන් වුවද දමනය කිරීමට සමත් බැවින් ද තථාගතයන් වහන්සේ ලෝකයෙහි දම්‍යයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍රවන සේක. එබැවින් උන්වහන්සේ “අනුත්තර පුරිසදම්මසාරථී” නම් වෙති.

ලෝකයෙහි කායබල ධනබල ඥානබල විද්‍යාබල ස්ථානබල ආදී යම්කිසි බලයකින් මත්ව ගරුකළ යුත්තන්ට ගරු නොකරමින් යටත් විය යුත්තන්ට යටත් නොවෙමින් අන්‍යන්ට කරදර කරමින් ගුණවතුන්ට අවමන් කරමින් හැසිරෙන උඬඟු පුද්ගලයෝ දමනය කළ යුත්තෝය. කායබල ධනබලාදි කිසි බලයක් නැත ද මෝඩකම නිසා අන්‍යයන් පහත් කොටත් තමන් උසස් කොටත් සිතාගෙන ගරු කළ යුත්තන් හට ගරු නොකරමින් යටත්විය යුත්තන්ට යටත් නොවෙමින් අන්‍යයයන්ට කරදර කරමින් ගුණවතුන්ට නින්දා කරමින් හැසිරෙන අවිනීත පුද්ගලයෝ ද ඇතහ. ඔවුහු ද දමනය කළ යුතු එක් පුද්ගල කොටසකි. මෝඩකම ම බලය කොට මෝඩකම ම පණ්ඩිතකම කොට ගෙන සිටින ඒ පිරිස දමනය කිරීමට ඉතා දුෂ්කර පිරිසය. එවැනි අය බුදුවරුන්ටද දමනය කිරීම ඉතා දුෂ්කරය. අවිද්‍යාවෙන් අන්ධව රාගාදි කෙලෙසුන්ට වසඟව පස්කම් සැප විඳීම ම මිනිසකුට කරන්නට ඇති උසස් දෙය සලකා ගෙන කාමයන් හි ගැලී සිටින විශාල ජනකායන් ද ලොව ඇත්තාහ. ඔවුහු ද දමනය කළ යුත්තෝය.

කායබල ධනබලාදිය නිසා ප්‍රචණ්ඩව හැසිරෙන පුද්ගලයන් කෙරෙහි කායබලාදිය ම මෙහෙයවා පහරදීම ධනය පැහැර ගැනීම ධනය විනාශ කිරීම ආදියෙන් ඔවුන්ගේ බල බිඳ දුබල කොට නො නැඟී සිටිය හැකි තැනට පැමිණ වීමද ලෝකයෙහි අදන්තයන් දමනය කිරීමක් ලෙස සලකති. රාජාදීහූ ඒ ක්‍රමයෙන් අදන්තයන් දමනය කරති. එයින් පක්ෂයකට යහපතක් වතුදු දමනය කරනු ලැබු පුද්ගලයාට වන්නේ ඉමහත් නපුරකි, දුකෙකි. පක්ෂයකට යහපත වී පක්ෂයට නපුරක් වන ඒ ක්‍රමය යහපත් නොවේ. එයින් වන්නේ වෛරයක් ඇති වීමකි. එසේ දමනය කරනු ලැබූ පුද්ගලයා බලය ලත් විට නැවතත් පෙර තත්වයට ම පැමිණෙන නිසා එය නියම දමනයක් ද නොවේ. තථාගතයන් වහන්සේ විසින් පුද්ගලයන් දමනය කරන්නේ කාහටවත් නපුරක් නොවන පරිදිය. කායබලයෙන් හෝ ධන බලයෙන් උඩඟුව සෙස්සන්ට කරදර කරමින් හැසිරෙන්නෙක් තථාගතයන් වහන්සේ විසින් දමනය කරනු ලැබුව හොත් එයින් ඔහුට ද ඉමහත් යහපතක් සිදු වේ. සමහර විට ඔහු තමන්ගේ කායබලයෙන් ධනබලයෙන් සෙස්සන්ට යහපත සිදු කරන්නෙක්ද වේ. එබැවින් තථාගතයන් වහන්සේගේ දමනය කිරීමේ ක්‍රමය ඉතා යහපත් වේ. තථාගතයන් වහන්සේ විසින් කොතරම් රෞද්‍ර පුද්ගලයකු වුවද දමනය කරන්නේ දඬු - මුඟුරු - අවි එසවීමක් නො කොට ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් දමනය කළ ඉතා ප්‍රචණ්ඩ පුද්ගලයකු වන අංගුලිමාල තෙරණුවෝ :-

“දණ්ඩේනෙකෙ දමයන්ති - අංකුසෙහි කසාහි ච,
අදණ්ඩේන අසත්ථෙන - අහං දන්තොම්හි තාදිනා”

(ථෙරගාථා)

යනුවෙන් “ඇතමෙක් දමනය කළයුත්තන් පොලු වලින් අකුස්වලින් කසවලින් දමනය කෙරෙති. මම වනාහි බුදුරදුන් විසින් අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් දමනය කරන ලද්දේ වෙමි.”යි වදාළහ.

තථාගතයන් වහන්සේ විසින් කිසිදු පීඩාවක් නො කොට අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් දමනය කරනු ලබන පුද්ගලයෝ අතිශයින් ම ශාන්ත වෙති. තථාගතයන් වහන්සේ චම්පානුවර ගග්ගරා නම් පොකුණුතෙර මහත් වූ භික්ෂූන් පිරිස සමග වැඩ වෙසෙන අවස්ථාවෙහි පෙස්ස නම් වූ හස්ත්‍යාචාර්‍ය්‍ය පුත්‍රයා හා කන්දරක නම් පිරිවැජියා ද උන්වහන්සේ වෙත පැමිණියහ. ඔවුහු තථාගතයන් වහන්සේ සමීපයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ ශාන්තභාවය දැක ඉමහත් පුදුමයටත් සතුටටත් පත් වූහ. බුදුරදුන් හා පිළිසඳර කථා කොට එකත් පසෙක හිඳගත්තා වූ කන්දරක පිරිවැජියා කියනුයේ “පින්වත් ගෞතමයන් වහන්ස, නුඹ වහන්සේ භික්ෂු සංඝයා හික්මවා ඇති සැටි ඉතා පුදුමය. අතීත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන්නට ඇත්තේද, අනාගත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන්නේද, දැන් පින්වත් ගෞතම වහන්සේ විසින් භික්ෂු සංඝයා හික්මවා ඇති පරිද්දෙන්ම යයි සිතමි”යි කීය. තථාගතයන් වහන්සේ “එසේය, කන්දරක, අතීත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන ලද්දේ ද, අනාගත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන්නේ ද, දැන් මා මේ භික්ෂු සංඝයා, හික්මවා ඇති පරිදිම ය”යි වදාරා, එහි රැස්ව හුන් භික්ෂූන්ගේ තත්ත්වය ද පහදා වදාළ සේක.

ඇතුන් අසුන් ගවයන් සිංහයන් ව්‍යාඝ්‍රයන් නයින් පොළොඟුන් දමනය කිරීම පහසුය. මනුෂ්‍යයන් දමනය කිරීමට දුෂ්කර ය. තිරිසන්නු කපටිකම් නැත්තෝය. මායම් නො දක්වන්නෝ ය. සෑම කල්හි තමන්ගේ ඇති සැටිය දක්වන්නෝ ය. ඔවුන්ගේ නපුරුකම සඟවා ගෙන හීලෑකම් දැක්වීමක් නැත. හීලෑකම සඟවා ගෙන නපුරුකම් දැක්වීමක් නැත. වැඩ කළ හැකිව තිබියදී බොරු බැරිකම් දැක්වීමක්, හොර ලෙඩ ගැනීමක් නැත. සඟවන කිසිවක් ඔවුන්ගේ නැත. ඔවුහු කරන සියල්ල ම එළිපිට ම කරති. එබැවින් ඔවුන් හික්මවීම පහසු ය. මනුෂ්‍යයෝ ඉතා කෛරාටිකයෝ ය. මායම්කාරයෝ ය. කුහකයෝ ය. ඔවුන් එකක් කරමින් අනිකක් කියති. එකක් කියමින් අනිකක් කරති. අනිකක් සිතති. පරම පාපියකු ව සිට මහාඋවසුවකුගේ-තවුසකුගේ ආකාරය දක්වති. සොරකුව සිට පරෙස්සම් කර දෙන්නෙකුගේ ආකාරය දක්වති. සතුරුකම් කරමින් මිතුරු ආකාරයක් දක්වති. දුප්පත්ව සිට පොහොසතකුගේ ආකාරය දක්වති. පොහොසත්ව සිට දුප්පත් කම් දක්වති. උගත්කම් නැතිව උගත්කම් දක්වති. ඇතුන් දමනය කරන්නෙකු වූ ද බොහෝ සේවකයන් ඇතියකු වූ ද පෙස්ස මිනිසුන් හා තිරිසනුන් අතර ඇති වෙනස හොඳින් දනී. දමනයට දුෂ්කර මිනිසුන් රැසක් ඉතා ශාන්ත වන පරිදි දමනය කර ඇති බව දුටු පෙස්ස ඉතා පුදුමයට පැමිණ “ගහණං හෙතං භන්තෙ යදිදං මනුස්සා උත්තානකං හෙතං භන්තෙ යදිදං පසවො” යනුවෙන් “ස්වාමීනි, මේ මනුෂ්‍යයෝ කෛරාටිකයෝ ය. සිවුපාවෝ නොගැඹුරු වූවෝ ය”යි මනුෂ්‍යයන්ගේ හා තිරිසනුන්ගේ වෙනස දක්වා “නුඹ වහන්සේ මේ මනුෂ්‍යයන්ගේ හිතාහිතය දන්නාහ”යි තථාගතයන් වහන්සේට පැවසුවේ ය.

(කන්දරක සු - ම. නි.)

මෙසේ ලෝතතු දන්නවුන් පුදුම වන අන්දමට ඉතාම ශාන්ත භාවයට පැමිණෙන ලෙස අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් පුද්ගලයන් දමනය කිරීමට සමත් වන බැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිසදම්ම සාරථී වන සේක.

තථාගතයන් වහන්සේ විසින් පුද්ගලයන් දමනය කරන අයුරු අංගුත්තර චතුෂ්ක නිපාතයේ කේශී සූත්‍රය අනුව කිව යුතුය. දිනක් කේශී නම් අශ්ව දමකයා බුදු රදුන් වෙත එළඹ වැඳ එකත්පසෙක හිඳ ගත්තේ ය. එකල්හි තථාගතයන් වහන්සේ වාදාරන සේක්, “කේශී, නුඹ අශ්වයන් පුරුදු කිරීමෙහි ප්‍රසිද්ධය. නුඹ අශ්වයන් දමනය කරන්නේ කෙසේ දැ”යි වදාළ සේක. “ස්වාමීනි, මම මෙලෙකින්ද රළුයෙන් ද ඒ දෙකින්මද අශ්වයන් දමනය කරමි”යි ඔහු කීය. “කේශී, ඉදින් අශ්වයන් මෙළෙකින්ද රළුයෙන්ද ඒ දෙකින් ම ද කීකරු නොකළ හැකි වී නම් එකල්හි නුඹ කුමක් කරන්නෙහිදැ”යි තථාගතයන් වහන්සේ වදාළහ. “ඒ තුන් ආකාරයෙන් නොදැමිය හැකි අශ්වයන් අපගේ ඇදුරු පරපුරට අවමානයක් ඇති නොවනු පිණිස මරා දමමි”යි කේශී කීය.

“ස්වාමීනි, භග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථී වන සේක. නුඹ වහන්සේ දමනය කළ යුතු පුද්ගලයන් කෙසේ හික්මවන සේක් දැ”යි කේශී විචාළේ ය. “කේශී, මම ද දමනය කළ යුතු පුද්ගලයන් මෙළෙකින් ද හික්මවමි. රළුයෙන් ද හික්මවමි. ඒ දෙකින්ම ද හික්මවමි. මේ කායසුචරිතය ය, මේ කායසුචරිතයේ විපාකය ය, මේ වාක් සුචරිතය ය, මේ වාක් සුචරිතයේ විපාකය ය, මේ මනෝ සුචරිතය ය, මේ මනෝ සුචරිතයේ විපාක ය, සුචරිතයේ විපාක වශයෙන් මිනිස්ලොව උපදනාහ. දෙව්ලොව උපදනාහ. මෙසේ අනුශාසනය කොට පුද්ගලයන් හික්මවීම මාගේ මෙළෙකින් හික්මවීම ය. මේ කාය දුශ්චරිතය ය. මේ කාය දුශ්චරිතයේ විපාකය ය. මේ වාක් දුශ්චරිතය ය. මේ වාක් දුෂ්චරිතයේ විපාකය ය. මේ මනෝදුශ්චරිතය ය. මේ මනෝදුශ්චරිතයේ විපාකය ය. දුශ්චරිතයෙන් නරකයෙහි උපදනාහ, තිරිසන් වන්නාහ. ප්‍රේත වන්නාහ. මෙසේ අනුශාසනය කොට හික්මවීම මාගේ රළුයෙන් හික්මවීම ය. ඒ දෙයාකාරයෙන්ම අනුශාසනය කොට හික්මවීම මාගේ මෙළෙකින් හා රළුයෙන් හික්මවීම ය”යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කේශී “ස්වාමීනි, දමනය කළ යුත්තෙක් ඒ තුන් ආකාරයෙන් ම නො හික්මේ නම් ඔහුට නුඹ වහන්සේ කුමක් කරන සේක් දැ”යි කීය. තථාගතයන් වහන්සේ වදාරන සේක් “කේශී, දමනය කළ යුතු පුද්ගලයා ඒ තුන් ක්‍රමයන් ම නොහික්මෙන්නේ නම් මම ද ඔහු මරමි යි”යි වදාළ සේක. එකල්හි කේශී, “ස්වාමීනි, නුඹ වහන්සේට ප්‍රණඝාතය ඇකැප ය. එහෙත් නුඹ වහන්සේ මරමියි කියන සේකැ”යි කීය. “සැබව කේශී, තථාගතයන් වහන්සේට ප්‍රාණඝාතනය කැප නැත. යමෙක් මෙළෙකින් අනුශාසනා කිරීමෙන් ද තදින් අනුශාසනා කිරීමෙන් ද, ඒ දෙයාකාරයෙන් ම අනුශාසනා කිරීමෙන් ද නො හික්මේ නම් තථාගතයන් වහන්සේ ඔහු අනුශාසනා නො කළ යුත්තකු ලෙස සලකන්නා හ. මාගේ නුවණැති ශ්‍රාවකයෝ ද ඔහු අනුශාසනා නො කළ යුත්තකු ලෙස සලකන්නා හ. කේශී, එසේ අනුශාසනා නොකළ යුත්තකු ලෙස සැලකීම මේ ආර්‍ය්‍යවිනයෙහි මරණයට පැමිණවීමය”යි වදාළ සේක. කේශී තථාගතයන් වහන්සේට ස්තුති කොට තෙරුවන් සරණ ගොස් උපාසකයෙක් වූයේ ය.

බුදුරදුන් විසින් දමනය කරන්නේ පුරුෂයන් පමණක් නො වේ. උන් වහන්සේ ස්ත්‍රීන් ද දමනය කෙරෙති. සරණශීලාදියෙහි පිහිටවමින් හික්මවෙති. පුරිසදම්මසාරථී යන මෙහි පුරුෂයන් පමණක් ගෙන තිබෙන්නේ “දමනය කළ යුත්තන් අතර පුරුෂයන් ප්‍රධාන නිසාය”යි කියා තිබේ. එහි පුරිස යන වචනය ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂය ම ගත හැකි පුද්ගලවාචී වචනයක් ද ලෙස සැලකිය හැකි ය. වචනය කෙසේ වුව ද තථාගතයන් වහන්සේ ස්ත්‍රී පුරුෂ සැමදෙන ම දමනය කරන බව කිය යුතු ය.

තථාගතයන් වහන්සේ ගේ පුද්ගල දමනය අංගුලිමාල, නාළාගිරි ආදි ප්‍රචණ්ඩයන් මෙල්ල කිරීම ම නො වේ. උන්වහන්සේ අතින් එවැන්නක් සිදුවන්නේ කලාතුරකිනි. උන්වහන්සේ විසින් බෙහෙවින් කරන, නිතර කරන දමනය නම්, කෙලෙසුන්ට වසඟව මෝහයෙන් මුළා ව මානයෙන් මත් ව සුසිරිතෙන් බැහැරව පව්කම්හි ද පඤ්චකාමයෙහි ද ඇලී අපාය මාර්ගයේ ගමන් ගෙන ඇති, නිවන් මඟට විරුද්ධ මාර්ගයෙහි ගමන් ගෙන ඇති සත්ත්වයන් සරණශීලාදීයෙහි පිහිටවා ස්වර්ගමෝක්ෂමාර්ගයන්හි ගමන් කරන්නවුන් කිරීම ය. අප තථාගතයන් වහන්සේ ලෝකානුකම්පාවෙන් පන්සාළිස් වසක් මුළුල්ලෙහි කළේ එය ය.

අනුන් දමනය කිරීමය, තමාගේ සිත දමනය කර ගැනීමය යන මේ දෙකින් වඩා වැදගත් වන්නේ තමාගේ සන්තානය තමාගේ සිත දමනය කර ගැනීමය. දුෂ්කර දෙයත් එය ය. එබැවින් “අත්තාහි කිර දුද්දමො” යනු වදාරන ලදී. අනුන් දමනය කිරීම සුදුසු වන්නේ තමාගේ සන්තානය - තමාගේ සිත දමනය කරගත් පුද්ගලයා ය. භාග්‍යවතුන් වහන්සේ වනාහි අතිදීර්ඝකාලයක් දානාදි පෙරුම් දහම් සපුරා ඒවායේ බලයෙන් බෝධිමූලයේ වැඩහිඳ සිත නො සන්සුන් කරන, කය වචන දෙක නො සන්සුන් කරන සකලක්ලේශයන් අර්හත්මාර්ගඥාන නමැති ගින්නෙන් දවා පියා සර්වාකාරයෙන් පාරිශුද්ධත්වයට පැමිණ තමන් වහන්සේගේ සන්තානය දමනය කර ගත් සේක. ලෝකයේ කොපමණ බලවතකු සෘද්ධිමතකු වුව ද දමනයට සමත් වන ඥානබල සෘද්ධිබල ලබා ගත් සේක. එබැවින් උන් වහන්සේ අන්‍යයන් දමනය කිරීමට අතිශයින් සුදුසු වූ සේක. ඒ භාග්‍යයවතුන් වහන්සේ ලොවුතුරා බුදු බවට පැමිණ වැඩ විසූ පන්සාළිස් වස් කාලය තුළ අපමණ සත්ත්වයන් දමනය කළහ.

උන් වහන්සේ ලොව්තුරා බුදුබවට පැමිණ සත් සතියක් ඉක්ම ගිය පසු සහම්පතී බ්‍රාහ්මරාජයා පැමිණ “දෙසෙතු භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතෝ ධම්මං” යි දහම් දෙසුමට ආරාධනා කළ පසු බරණැස ඉසිපතනයට වැඩ වදාරා එහිදී කරන ලද ප්‍රථම ධර්ම දේශනයෙන් ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවන් ඇතුළු අටළොස් කෝටියක් බ්‍රහ්මයෝ ධර්මචක්ෂුස ලැබ දමිත වූහ. මේ ධර්මදේශනය කළේ ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනයේ ය. ඉක්බිති තථාගතයන් වහන්සේ අවපෑළවිය දිනයේ ආයුෂ්මත් වප්ප ස්ථවිරයන් වහන්සේට අවවාද කොට ධර්මචක්ෂුස ලබා දී සෝවාන් ඵලයට පැමිණ වූ සේක. එසේම දෙවන දිනයෙහි භද්දිය තවුසාණන්ට ද තුන්වන දිනයෙහි මහානාම තවුසාණන්ට ද සතරවන දිනයෙහි අස්සජි තවුසාණන්ට ද අවවාද කොට ධර්ම චක්ෂුස ලබා දී ඔවුන් දමනය කළ සේක. පුද්ගලයකුගේ දමනය අවසන් වන්නේ අර්හත්වයෙනි. කොණ්ඩඤ්ඤාදි පස්නම සෝවාන් ඵලයට පැමිණ ඒහි භික්ෂුභාවයෙන් පැවිද්ද හා උපසම්පදාව ලබා ඇත ද ඉදිරියට ද හික්මවිය යුත්තෝ ය. එබැවින් තථාගතයන් වහන්සේ පක්ෂයේ පස්වන දිනයෙහි ඔවුන් පස්දෙන ම එකතු කොට ඉදිරියට හික්මවනු සඳහා “රූපං භික්ඛවෙ අනත්තා රූපඤ්චහිදං භික්ඛවෙ අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍ය ” යනාදි අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනය කළ සේක. ඒ දේශනය අසා පඤ්චවර්ගිය භික්ෂූහු සව්කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියෝ ය. තථාගතයන් වහන්සේ ඒ දේශනයෙන් පඤ්චවර්ගිය භික්ෂූන් දමනය කිරීම අවසන් කළ සේක.

ඒ කාලයෙහි බරණැස බොහෝ සම්පත් ඇති යස නම් සිටු පුත්‍රයෙක් වාසය කරයි. ඔහුට ඒ ඒ සෘතුවෙහි වාසයට යෝග්‍ය ලෙස කරන ලද ප්‍රාසාද තුනක් විය. ඔහු ඒ ඒ සෘතුවෙහි ඒ ඒ ප්‍රාසාදයට වී වාසය කරයි. බුදුරදුන් ඉසිපතනයෙහි වැඩ හුන් වස්සාන කාලයේ ඔහු ද වර්ෂා කාලයට යෝග්‍ය ලෙස කරවා තුබූ පහයට වී ස්ත්‍රීන් විසින් පවත්වන නෘත්‍ය ගීත වාදිතයෙන් සිත් පිනවමින් වාසය කෙළේ ය. එක් රාත්‍රියක ඔහුට කලින් ම නින්ද ගියේ ය. පහය තුළ පහන් දැල්වෙද්දී ම නටමින් ගයමින් වයමින් ඔහු පිනවමින් උන් නාටිකාවෝ ද ඒ ඒ තැන වැටී නිදාගත්හ. සිටු පුත්‍රයා කලින් නින්දෙන් අවදි විය. කලින් එහි පැවති ගැයුම් වැයුම් හඬ නො ඇසිණ, නැටුම් නො තිබිණ. එකල්හි ඔහුට පෙනුනේ කට හැරගෙන ද, කුණු කෙළ පෙරමින් ද, ගොරවමින් ද, කෙඳිරිගාමින් ද, තැන තැන වැටී නිදන නාටිකාවක් ඇති පහය අමුසොහොනක් සේ ය. දෙව් විමනක් සේ කලින් තුබූ පහය සොහොනක් මෙන් වී තිබෙනු දුටු සිටු පුත්‍රයාගේ සිත සැලෙන්නට විය. “ලෝකයේ නො තිර තැනක, තැවි තැවී සිටින්නට වන තැනක” යන අදහස ඔහුට ඇති විය. සිදු වූ විපර්‍ය්‍යාසයෙන් කළකිරුණු සිටුපුත්‍රයාට සිය නිවස බලාගෙන එහි නො සිටිය හැකි විය. ඔහුට පහයෙන් පිට වී යන්නට සිත් විය. එතෙක් කල් පස්කම් සැප විඳිමින් එහිම ඇලී ගැලී සිටි සිටුපුත් නිවනක් ගැන හෝ නිවන් මඟක් ගැන නො දනී. යන්නට සිතෙන නමුත් යා යුතු තැනක් නො දනී. එහෙත් ඔහු පහයෙන් බැස, මඟට බැස නුවරින් ද පිට වී රාත්‍රියේ තනිව ම ඉසිපතනය දෙසට ගමන් කෙළේ ය. භාග්‍යයවතුන් වහන්සේ රාත්‍රියේ පශ්චිම යාමයේ සක්මන් කරන සේක්, යස සිටු පුත්‍රයා දුරදී ම එනු දැක, සක්මනින් ඉවත් ව පනවා තුබූ අසුනෙහි වැඩ සිටි සේක. සිටු පුත්‍රයා තථාගතයන් වහන්සේට නුදුරින් ගමන් කරමින් “උපද්දුතං වත භො උපස්සට්ඨං වත භො”යි උදන් ඇණී. තථාගතයන් වහන්සේ “යස, මෙහි එව, මෙහි උපද්‍රව නැත, හිඳ ගනුව, ඔබට දහම් දෙසමි”යි වදාළහ. සිටු පුත් ඉතා සතුටු ව පාවහන් ගලවා තබා තථාගතයන් වහන්සේ වෙත එළඹ වැඳ එකත් පසෙක වාඩිවිය. භාග්‍යවතුන් වහන්සේ දානකථාදියෙන් ඔහුට දහම් දෙසා ඔහුගේ සිත මෘදු වී පහන් වී චතුරාර්‍ය්‍යසත්‍යධර්මය තේරුම් ගත හැකි තත්ත්වයට පැමිණි කල්හි ලොවුතුරා බුදුවරුන්ගේ සාමුක්කංසික චතුරාර්‍ය්‍යසත්‍ය දේශනාව ඔහුට ප්‍රකාශ කළ සේක. එය අසා යස සිටුපුත්හට ධර්මචක්ෂුස උපණ. සෝවාන් මාර්ගයට පැමිණියේය. ධර්මචක්ෂුඃ ප්‍රතිලාභයෙන් සතුටු වූ සිත් ඇති යස සිටු පුත් තථාගතයන් වහන්සේ සමීපයේ ම සිටියේ ය.

පහන් වූ පසු ඔහුගේ මෑණියෝ යස සිටුපුත්‍රයා වෙසෙන පහයට ගොස් ඔහු නො දැක ඉමහත් ශෝකයෙන් මහසිටු වෙත වහා ගොස් ඒ බව ඔහුට දැන්වූහ. සිටුවරයා පුත්‍රයා සොයනු පිණිස සතර දිශාවට ම අසරුවන් යවා එපමණින් සතුටුවිය නොහී තෙමේ ද පුත්‍රයාගේ පාවහන් සටහන් බල බලා පා ගමනින් ඔහු සොයා ඉසිපතනාරාමය දෙසට ගමන් කෙළේ ය. තථාගතයන් වහන්සේ දුරදීම ඔහු එනු දැක පුත්‍රයා මෙන් පියා ද දමනය කරනු පිණිස සමීපයෙහි හිදිනා යස සිටු පුත්‍රයා ඔහුට නො පෙනෙන පරිදි සෘද්ධි ප්‍රතිහාර්‍ය්‍යයක් කළ සේක. සිටුවරයා බුදුරදුන් වෙත ගොස් “ස්වාමීනි, ඔබ වහන්සේ අපගේ පුත්‍රයා දුටු සේක්දැ”යි කීය. “සිටාණෙනි, මෙහි වාඩි වෙන්න, මෙහි වාඩි වී සිටියදීම ඔබට පුත්‍රයා දැකිය හැකි විය හැකිය”යි තථාගතයන් වහන්සේ වදාළහ. සිටුවරයා එහිදී ම තමාගේ පුත්‍රයා දැකිය හැකි වන බව ඇසීමෙන් ඉතා සතුටු ව තථාගතයන් වහන්සේ වැඳ එකත්පසෙක වාඩිවිය. තථාගතයන් වහන්සේ ඔහුට, යස කුලපුත්‍රයාට දෙසූ පරිදි ම දහම් දෙසූ සේක. ධර්මදේශනය ඇසීමෙන් සිටුවරයා සෝවාන් ඵලයට පැමිණියේ ය. සිටුපුත්‍ර තෙමේ පියාට දේශනා කළ ධර්මයට කන්දී සිට සව් කෙලෙසුන් නසා අර්හත්ඵලයට පැමිණියේ ය. ඉක්බිති ඔහු ඒහිභික්ෂු භාවයෙන් පැවිද්ද ලබා බුදු සස්නෙහි එක්තරා රහත් භික්ෂුවක් විය.

ඉක්බිති තථාගතයන් වහන්සේ සිටුවරයාගේ ආරාධනාවෙන් අළුත පැවිදි වූ යස කුලපුත්‍රයා දෙවෙනි කොට ඔහුගේ නිවසට වැඩම කළ සේක. එහිදී යස පුත්‍රයාගේ මෑණියන් හා භාර්‍ය්‍යාව ද බුදුරදුන් වැඳ එකත්පසෙක හිඳගත්හ. තථාගතයන් වහන්සේ ධර්මදේශනයෙන් ඔවුන් ද දමනය කළහ. ඔවුහු දහම් අසා සෝවාන් ඵලයට පැමිණ තෙරුවන් සරණ ගොස් උපාසිකාවෝ වූහ.

ආයුෂ්මත් යස තෙරුන් වහන්සේගේ ගිහියහළුවන් වන බරණැස් සිටු, අනුසිටුවරයන්ගේ පුත්‍රයන් වන විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පතී යන කුලපුත්‍රයෝ සතර දෙන යස කුලපුත්‍රයාගේ පැවිද්ද අසා උන්වහන්සේ දක්නට ගියහ. යස තෙරණුවෝ ඔවුන් බුදුරදුන් වෙත කැඳවාගෙන ගොස් හඳුන්වා දී ඔවුන්ට අවවාදානුශාසනා කරන ලෙස අයැද සිටියහ. තථාගතයන් වහන්සේ දහම් දෙසුමෙන් ඔවුන් ද දමනය කළහ. ඔවුහු ද තථාගතයන් වහන්සේ වෙතින් පැවිද්ද ලබා වැඩිදුරටත් අවවාදානුශාසනා ලබා සව් කෙලෙසුන් නසා රහත් වූහ.

ඉක්බිති යස තෙරුන් වහන්සේගේ යහළුවන් වන ජනපදවැසි කුලපුත්‍රයෝ පනස් දෙනෙක් උන්වහන්සේ දක්නට පැමිණියහ. තෙරුන් වහන්සේ ඔවුන් ද තථාගතයන් වහන්සේ වෙත පමුණුවා දහම් දෙසන ලෙස අයැද සිටියහ. තථාගතයන් වහන්සේ ඔවුන්ද ධර්ම දේශනයෙන් දමනය කළහ. ඔවුහු ද පැවිදිව වැඩි දුරටත් අවවාදානුශාසනා ලබා සව්කෙලෙසුන් නසා රහත් වූහ.

තථාගතයන් වහන්සේ විසින් මෙසේ දමනය කොට රහතුන් සැට දෙනකුන් ලෝකයෙහි ඇති කිරීමෙන් පසු ඒ භික්ෂූන් ධර්මප්‍රචාරය සඳහා යවා උන්වහන්සේ උරුවෙල් දනව්ව බලා වැඩම කරන සේක්, අතරමඟදී ස්ත්‍රීන් ද කැටුව විනෝදය පිණිස වනයෙහි හැසිරුණ භද්‍රවර්ගීය කුමාරයන් තිස්දෙනා මුණ ගැසී ඔවුන් ද දමනය කොට පැවිදි කරවා අර්හත්වයෙහි පිහිට වූ සේක. ඔවුන්ගේ විස්තර කලින් දක්වා ඇත. තථාගතයන් වහන්සේ විසින් යස පුත්‍රයාගේ පටන් භද්‍රවර්ගිය කුමාරවරුන් දක්වා දහම් දෙසීමෙන් දමනය කොට ගිහිගෙයින් බැහැර කරවා තමන් වහන්සේගේ සසුනට ඇතුළු කළ පුද්ගල ගණන අනූ දෙනෙක් වූහ. ඔවුන් සැම දෙනම කිසිදු අඩුවක් නැතිව රිසි සේ පස්කම් සැප විඳිමින් එහි ඇලී ගැලී සිටි ධනවත්හු ය. තමතමන් ලබා සිටින උසස් කාමසම්පත්තිය හැර ගිහිගෙයින් නික්ම පැවිදිවන පරිදි එබඳු පුද්ගලයන් දමනය කිරීම තථාගතයන් වහන්සේට මිස අනිකකුට කළ හැක්කක් නොවේ. එබැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

භද්දවග්ගිය කුමාරවරුන් දමනය කොට තථාගතයන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කළ සේක. එසමයෙහි එහි උරුවේලකාශ්‍යපය, නදීකාශ්‍යපය, ගයාකාශ්‍යපය යි තවුසෝ තිදෙනෙක් වෙසෙති. ඔවුන්ගෙන් උරුවේලකාශ්‍යප තවුසන් පන්සියයකට නායකය. නදීකාශ්‍යප තවුසන් තුන්සියයකට නායකය. ගයාකාශ්‍යප තවුසන් දෙසියයකට නායකය. සවස් කාලයෙක්හි තථාගතයන් වහන්සේ උරුවේලකාශ්‍යප තවුසා වෙත එළඹ “කාශ්‍යපය, ඔබට බරක් නොවේ නම් එක් රාත්‍රියක් මේ ගිනිහල් ගෙයි වාසය කරමි”යි වදාළහ.“මහමහණ, මට නම් බරක් නැත, එහි ඝෝරවිෂ ඇති නපුරු නාගරාජයෙක් වෙසෙයි. උගෙන් ඔබට නපුරක් විය හැකිය”යි උරුවේලකාශ්‍යප කීය. තථාගතයන් වහන්සේ දෙවනුව ද, තුන්වනුව ද, එසේ වදාළ කල්හි, උරුවේලකාශ්‍යප ද එසේම කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ, “කාශ්‍යපය, නාගරාජයා මට හිංසා නො කරනු ඇත. ඔබ මාහට එහි විසීමට අවකාශ දෙනු මැනව”යි වදාළහ. එකල්හි උරුවේලකාශ්‍යප “මහණ රිසිසේ වාසය කරනු මැනව”යි කීය. තථාගතයන් වහන්සේ ගිනිහලට පිවිස තණ අතුරා එහි වැඩහුන් සේක. කිසිවකු ඇතුළු නො වන ඔහුගේ භවනට කිසි ගරු සරුවක් නැති ව කෙනෙකු ඇතුළු වී හිදීම ගැන නාරජු කිපුණේ ය. කිපුණු නාරජු බුදුරදුන් පලවා හැරීමට විෂදුම් පිට කෙළේ ය. තථාගතයන් වහන්සේ ද ඔහු දමනය කරනු පිණිස දුම් හළහ. නාගයාගේ දුමෙන් බුදුනට පීඩාවක් නොවිණ. තථාගතයන් වහන්සේගේ දුමින් නාගරාජයා පෙළිණ. එයින් ඔහු තවත් කිපී ගිනි පිට කරන්නට විය. තථාගතයන් වහන්සේ ද එසේ කළහ. නාගයාගේ ගින්නෙන් තථාගතයන් වහන්සේට අපහසුවක් නැත. තථාගතයන් වහන්සේ ගේ ගින්නෙන් නාගරාජයා පෙළෙයි. දෙදෙනා ම ගිනි පිට කරන්නට වන කල්හි ගිනිහල ගිනිදලුයෙන් වැසී ගියේ ය. ගින්න දැක තවුසෝ එහි පැමිණ ගිනිහල වටා බලා සිටිමින් “අනේ ලස්සන මහණ නාගරාජයා විසින් නසනු ලැබේය”යි ඔවුනොවුන් කථා කළෝ ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ඍද්ධිබලයෙන් නාරජුගේ තේජස යට කොට ඔහු දමනය කොට පාත්‍රයෙහි ලා පසු දින, “මේ ඔබේ ආනුභාව සම්පන්න නාගයාය”යි උරුවේල කාශ්‍යපට දැක්වූහ. උරුවේල කාශ්‍යප නාගයා බලා “මහමහණ නයින් දමනයට සමත් වුව ද ඔහුට අපට මෙන් රහත්බවක් නම් නැතය”යි සිතී ය.

නාගදමනයෙන් පසු තථාගතයන් වහන්සේ උරුවේලකාශ්‍යපගේ අසපුව සමීපයේ වන ලැහැබක විසූ සේක. රාත්‍රියෙහි සතර දිගට අධිපති දෙවිවරු සතර දෙන එහි පැමිණ මහා ගිනිකඳන් සතරක් මෙන් දිලිසෙමින් සතරදිගින් භග්‍යවතුන් වහන්සේ සමීපයෙහි සිටගත්තෝ ය. උරුවේලකාශ්‍යප දෙවියන් පැමිණ සිටිනු දුටුවේ ය. ඔහු පසු දින භග්‍යවතුන් වහන්සේ වෙත ගොස් “මහමහණ, ඉකුත් රාත්‍රියේ වනය ආලෝකවත් කරමින් ඔබ වෙත පැමිණ සිටියෝ කවරහු දැ”යි කී ය. “කාශ්‍යප, සතරවරම් දෙවිරජවරු දහම් ඇසීමට පැමිණියෝ ය”යි තථාගතයන් වහන්සේ වදාළහ. එය අසා, “මහමහණ කරා සතරවරම් දෙවි රජුහුත් දහම් ඇසීමට පැමිණෙති. එහෙත් ඔහු අප සේ රහත් නො වෙති”යි උරුවෙල්කාශ්‍යප සිතා ගත්තේ ය.

තවත් දිනක රාත්‍රියේ ඒ වනලැහැබෙහි කලින් දුටු ගිනිකඳන්වලට මහත් වූ ද, පැහැපත් වූ ද ගිනි කඳන් වැනි පුද්ගලයකු උරුවේලකාශ්‍යප දුටුවේ ය. පසුදින ඔහු ඒ ඇවිත් සිටියේ කවරේදැ?”යි තථාගතයන් වහන්සේගෙන් විචාළේ ය. ශක්‍රදේවේන්ද්‍රයා බව වදාළ කල්හි ඔහු පෙර සේ ම “මහාශ්‍රමණයා කරා ශක්‍රයා පැමිණෙතත් ඔහු අප සේ රහත් නො වෙති”යි සිතා ගත්තේ ය.

තවත් දිනක රාත්‍රියේ සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ සිටියේ ය. උරුවේලකාශ්‍යප ඔහු දැක පසුදින තථාගතයන් වහන්සේගෙන් රාත්‍රියේ පැමිණ සිටි අමුත්තා කවරේ දැ? යි අසා තථාගතයන් වහන්සේ විසින් ඒ සහම්පති බ්‍රහ්මරාජයාය යි වදාළ කල්හි පෙරසේ ම “මහමහණ කරා බ්‍රහ්මයා පැමිණෙන නුමුත් ඔහු අප සේ රහත් නො වේ ය”යි සිතා ගත්තේ ය.

භග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි වැඩ වෙසෙන කාලයේ උරුවේලකාශ්‍යපයන් වෙත අඟු මගද දෙරට වැසියන් බොහෝ දෙනකුන් බොහෝ දේ ගෙන පැමිණෙන උත්සව දිනයක් ලං විය. ඒ උත්සවයට පෙර දින උරුවේලකාශ්‍යප සිතනුයේ, “සෙට මෙහි අඟු මගද දෙරට වැසි බොහෝ දෙනා පැමිණෙන්නාහ. ඉදින් සෙට මහමහණ ප්‍රාතිහාර්‍ය්‍යයක් කෙළේ නම් ඔහුට ලාභසත්කාර බොහෝ වන්නේ ය, මම ලාභයෙන් පිරිහෙන්නෙමි, සෙට දවස මහමහණ මෙහි නො ආවොත් හොඳය”යි සිතුවේ ය. තථාගතයන් වහන්සේ ඔහුගේ සිත දැන උතුරුකුරු දිවයිනට වැඩම කොට පිඬු සිඟා ගෙන අනවතප්ත විල සමීපයේ දී වළඳා දහවල් කාලයෙහි එහි ම විසූ සේක. උරුවේලකාශ්‍යප පසු දින භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, “මහමහණ, ඇයි ඊයේ ඔබ නො පැමිණියේ? ඊයේ අපට බොහෝ ඛාද්‍යබෝද්‍ය ලැබිණ, අපි ඔබ සිහි කෙළෙමු, ඔබගේ පංගුවද තැබුවෙමු ”යි කී ය. “ඇයි කාශ්‍යප, ඔබට ඊයේ මහමහණ නො පැමිණෙතොත් හොඳය යි සිතුනේ නො වේ දැ?”යි තථාගතයන් වහන්සේ වදාළහ. කාශ්‍යප ලැජ්ජා වී, “මේ මහණ මහත් වූ ඍද්ධි ඇතියෙක, පර සිත් දන්නෙක, එහෙත් ඔහුට අපට මෙන් රහත්කමක් නම් නැත ය”යි සිතුවේ ය. භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපයන් පිරිනැමූ අහර වළදා ඒ වන ලැහැබෙහි ම විසූ සේක.

එක් දවසක් තථාගතයන් වහන්සේට පාංසුකූලයක් ලැබුණේ ය. එය සෝදා ගැනීමට තැනක් නො වී ය. එකල්හි සක්දෙව්රජු තථාගතයන් වහන්සේගේ අදහස දැන එය සේදීම සඳහා පොකුණක් කැණ, ගලක් ද ගෙනවුත් තැබී ය. වස්ත්‍රය සෝදා වැනීමට මහ කළුගලක් ද ගෙනවුත් තැබීය. තථාගතයන් වහන්සේ හට අල්ලා ගෙන පොකුණෙන් ගොඩ වීම සඳහා සමීපයෙහි කුඹුක්ගසෙහි දෙවියා ඒ ගසේ අත්තක් පොකුණට නමාලී ය. පසු දින කාශ්‍යප තවුසා බුදුරදුන් වෙත එළඹ වැළඳීමේ කාලය දන්වා, “මහමහණ, කලින් මෙහි පොකුණක් නො තිබිණ, මේ ගල ද නො තිබිණ. මේ කුඹුක් අත්ත ද මෙසේ නැමී නො තිබිණ. මේ කිමෙක් දැ”යි කී ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට ලැබුණු පාංසුකූලය සෝදන්නට ශක්‍රයා විසින් මේ පොකුණ කණින් ලද බවත්, ගල ගෙනැවිත් තබන ලද බවත්, කුඹුක් ගස දෙවියා අත්ත නමාලූ බවත් වදාළහ. එකල්හි උරුවේලකාශ්‍යප “ශක්‍රදේවේන්ද්‍රයාත් වැඩ කර දෙන මේ මහණ මහානුභාව ඇතියෙක, එහෙත් අපට මෙන් රහත් කමක් ඔහුට නැතය”යි සිතා ගත්තේ ය. තථාගතයන් වහන්සේ උරුවේලකාශ්‍යපගේ භෝජනය වළඳා ඒ වන ලැහැබෙහි විසූ සේක.

පසු දින උරුවේලකාශ්‍යප තථාගතයන් වහන්සේ කරා ගොස් උන්වහන්සේට වැළඳීමේ කාලය යි දැන්වූ කල්හි “කාශ්‍යප, තෙපි යව, මම එමි”යි කියා ඔහු පිටත් කර භාග්‍යවතුන් වහන්සේ දඹදිව මහ දඹගස වෙත ගොස් ඒ ගසින් ගෙඩියක් ගෙන උරුවේලකාශ්‍යපට කලින් ම ගිනිහලට පැමිණ එහි වැඩහුන් සේක. උරුවේලකාශ්‍යප බුදුරදුන් වැඩසිටි වන ලැහැබෙහි සිට පාගමනින් අවුත් ගිනිහල වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දැක පුදුම වී “මහණ, ඔබ කිනම් මඟකින් මට පළමු ව මෙහි ආයෙහි දැ?”යි කී ය. “කාශ්‍යප, මම ඔබ පිටත් කොට, යම් දඹගසක් නිසා මේ දිවයිනට දඹදිවය යි කියත් ද? ඒ දඹගසින් ඵලයක් ද ගෙන මෙහි පැමිණ හිඳ ගතිමි. කාශ්‍යපය, මේ දඹ ඵලය මනා වර්ණයෙන් හා සුවඳින් ද රසයෙන් ද යුක්ත ය. ඔබ කැමති නම් මෙය වළඳව”යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කාශ්‍යප “මහමහණ, ඔබ ගෙනා දඹඵලය ඔබ ම වළඳන්න” යයි කියා “මහමහණ මහත් ඍද්ධි ඇතියෙක, එහෙත් අපට මෙන් අර්හත්වයක් නම් මොහුට නැතය”යි සිතුවේ ය.

මෝඩකම ම රහත්බව ලෙස සලකා ගෙන සිටින උරුවේලකාශ්‍යප තවුසාට මෙතෙක් ප්‍රාතිහාර්‍ය්‍යය දැක්වීමෙන් ද තමා නො රහත් බව නො වැටහිණ. ඔහු දමනය කරනු වස් තථාගතයන් වහන්සේ පසු දින ඒ දඹගස සමීපයේ තිබෙන නෙල්ලි ගසින් නෙල්ලි ගෙඩි ද, ඊට පසු දින අරළු ගසින් අරළු ගෙඩි ද, ඊට පසු දින තව්තිසා දෙව්ලොව පරසතු ගසින් මල් ද ගෙනවුත් උරුවේලකාශ්‍යපට දැක්වූහ. කාශ්‍යප ඒ සෑම අවස්ථාවෙහිම “ඍද්ධියක් මිස තමාට මෙන් රහත් බවක් මහමහණට නැතය”යි සිතුවේ ය.

එක් දිනක් තවුසෝ පන්සිය දෙනා ගිනි පුදනු පිණිස දර පලන්නට තැත් කළහ. එක දර කැබෙල්ලකුදු නො පැලෙන්නේ ය. “මෙයත් මහමහණහුගේ ප්‍රාතිහාර්‍ය්‍යයකැ”යි තවුසෝ සිතූහ. එකල්හි තථාගතයන් වහන්සේ “කාශ්‍යප, දර පලන්න දැ”යි අසා වදාළහ. “පලන්න මහමහණ ය”යි ඔහු කී ය. එකෙණෙහි ම දර කොට පන්සියය පැලී ගියේ ය. ඉක්බිති තවුසෝ ගිනි දල්වන්නට තැත් කළහ. කොතෙක් වීර්‍ය්‍ය කළ ද එක දර කැබෙල්ලකට ද ගිනි නො ඇවිලෙයි. ඔවුහු “මෙයත් මහමහණහුගේ ඍද්ධියකැ”යි සිතූහ. තථාගතයන් වහන්සේ “ගිනි අවුලවන්න ද කාශ්‍යපය”යි වදාළහ. “එසේය මහමහණ ය”යි කාශ්‍යප කී ය. එකෙණෙහි පන්සිය තැනක ගිනි දැල්විණ. තවුසෝ ගිනි පුදා ගිනි නිවන්නට උත්සහ කළහ. කොතෙක් ජලය වත්කළ ද ගිනි නො නිවෙයි. “මෙය ද මහමහණහුගේ ප්‍රාතිහාර්‍ය්‍යයකැ”යි තවුසෝ සිතූහ. තථාගතයන් වහන්සේ “කාශ්‍යප, ගිනි නිවන්න දැ”යි වදාළහ. “එසේය”යි කී කල්හි සැමතැන ගිනි නිවිණ. කාශ්‍යප පෙරසේ ම සිතුවේ ය.

ශීතඍතුවේ හිම වැටෙන කාලයේ එක් රාත්‍රියක තවුසෝ නේරංජනා ගංගාවට බැස දියෙහි ගැලීම මතුවීම කරන්නට පටන් ගත්හ. ඔවුනට ගඟින් නැඟී ගිනි තැපීම සඳහා තථාගතයන් වහන්සේ ගිනිකබල් පන්සියයක් නිර්මාණය කළහ. තවුසෝ “මෙයත් මහමහණහුගේ ප්‍රාතිහාර්‍ය්‍යයක්ම ය”යි සිතුහ. උරුවේලකාශ්‍යප සිරිත් පරිදි “මහමහණ ඍද්ධිමතකු වුව ද අපට මෙන් ඔහුට රහත් බවක් නැතැ”යි සිතුවේ ය.

තථාගතයන් වහන්සේ එහි වෙසෙන සමයේ එක් දිනක අකල් වැස්සක් වැස උන්වහන්සේ විසූ පෙදෙස ජලයෙන් යට වී ගියේ ය. තථාගතයන් වහන්සේ එක් තැනක ජලය ඉවත් කොට වියළි දූලි නඟින්නා වූ බිම සක්මන් කරමින් උන්සේක. උරුවේලකාශ්‍යප “මහමහණ බේරා ගනිමුය”යි තවත් තවුසන් ද සමඟ ඔරුවකට නැඟී එහි ගියේ ය. ඔහු ජල මැඳ වියළි පොළවෙහි සක්මන් කරන තථාගතයන් වහන්සේ දැක විශ්මිත වූයේ “මේ මහ මහණදැ”යි කීය. “කාශ්‍යප ඒ මම ය”යි වදාරා තථාගතයන් වහන්සේ අහසට නැඟී ඔහුගේ යාත්‍රාවෙහි සිටි සේක. එකල්හි උරුවේල කාශ්‍යප පෙර පරිදිම “සිටිනා තැනට ජලය පවා ගලා නො එන මේ මහමහණ මහත් ඍද්ධි ඇතියෙක, එහෙත් ඔහු අප මෙන් රහත් නො වෙති”යි සිතුවේ ය.

එකල්හි තථාගතයන් වහන්සේ “මේ මෝඝ පුරුෂයාට සංවේගය ඇති කිරීමට මේ සුදුසු කාලය”යි සිතා “කාශ්‍යප, නුඹට ඇති රහත් කමකුත් නැත, නුඹ රහත් වීමේ මඟට පැමිණියෙක් ද නො වෙහිය. රහත් වීමේ ප්‍රතිපදාවක් නුඹට නැතය”යි වදාළහ. එකල්හි උරුවේල කාශ්‍යපගේ මානය බිඳී ගොස් දමනය වී ඔහු තථාගතයන් වහන්සේගේ පාමුල වැඳ වැටී “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා හට ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව ලැබේවා”යි ඇයැද සිටියේ ය. “කාශ්‍යප, නුඹ පන්සියයක් තවුසන්ට නායකයෙක, ඔබ අදහස ඔවුන්ට ද දන්වව, ඔවුහු ද කැමැත්තක් කරන්නාහ”යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කාශ්‍යප තම ශිෂ්‍යන් වෙත ගොස් “පින්වත්නි, මම මහමහණ වෙත පැවිදි වන්නට කැමැත්තෙමි, නුඹලා ද කැමැත්තක් කරව්” යයි කීය. “ආචාර්‍ය්‍යයෙනි, අපි කලක පටන් ම මහාශ්‍රමණයා කෙරෙහි පැහැදී සිටිමු. ඔබ මහාශ්‍රමණයා වෙත පැවිදිවන්නාහු නම් අපිත් එසේ කරමු ”යි ඔවුහු කීහ. ඉක්බිති ඔවුහු හිසකේ ද ජටා ද පිරිකර කත් ද ගිනි පුදන උපකරණ ද ගඟදියෙහි පා කර හැර භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්හ.

ගඟ පහළ අසපුවක තුන්සියයක් තවුසන්ට නායක ව වෙසෙන උරුවේලකාශ්‍යපයන්ගේ සහෝදර තවුසා ගඟෙහි පාවී යන ද්‍රව්‍ය දැක “මාගේ සහෝදරයාට උවදුරක් පැමිණියේදෝ ”යි සිතා ඔහුගේ තතු විමසනු පිණිස ගෝලපිරිස ද සමඟ වහා එහි ගියේ ය. ගෝල පිරිසත් සමඟ උරුවෙල් කාශ්‍යප බුදුරදුන් යටතේ පැවිදිවී සිටිනු දැක “කාශ්‍යපය, කිමෙක් ද මෙය උතුම් දැ”යි ඇසීය. “ඇවැත්නි, මෙය උතුම්ය”යි උරුවේලකාශ්‍යප කීය. එකල්හි නදීකාශ්‍යප ද ඔහුගේ පිරිසක් සමඟ හිසකේ ද, ජටා ද, තවුස්පිරිකර කත් ද ගිනිපුදන උපකරණ ද ගඟදියෙහි පාකර හැර තථාගතයන් වහන්සේ වෙත එළඹ පැවිදි විය.

ගඟ අසල අසපුවක දෙසියයක් තවුසන්ට නායක ව වෙසෙන උරුවේලකාශ්‍යපගේ සහෝදරයකු වන ගයාකාශ්‍යප පාවී යන තවුස් පිරිකර දැක “කිමෙක් ද මෙතෙක් තවුස් පිරිකර ගඟේ පාවී යන්නේ මාගේ සොහොයුරන්ට අන්තරායක් වීමෙන් දෝ”යි සිතා සිය පිරිස ද සමඟ උරුවේල කාශ්‍යප වෙත ගියේ ය. සිය පිරිස ද සමඟ උරුවෙල් කාශ්‍යප බුදුරදුන් වෙත පැවිදි වී සිටිනු දැක “එය උතුම්ද”යි අසා උරුවේල කාශ්‍යප විසින් “එසේ ය”යි කී කල්හි ඔහු ද සිය පිරිස සමඟ තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්තේ ය.

ඉක්බිති තථාගතයන් වහන්සේ පුරාණ තාපසයන් වූ අලුත පැවිදි වූ දහසකට අධික ඒ භික්ෂු පිරිස හා ගයාශීර්ෂයට වැඩම කළ සේක. දැනට එක්තරා ප්‍රමාණයකින් දමනය වී ඇති ඒ භික්ෂූන් හික්මවා අවසන් කරනු පිණිස එහිදී ඒ භික්ෂූන් අමතා “සබ්බං භික්ඛවෙ ආදිත්තං” යනාදි ආදිත්තපරියාය සූත්‍රධර්මය දේශනය කළ සේක. ඒ දේශනය ඇසීමෙන් සැම දෙනා වහන්සේ ම සව්කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියෝ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂු පිරිස විසින් පිරිවරන ලදුව රජගහනුවරට වැඩම කොට බිම්සර රජු ප්‍රධාන කොට තමන් වහන්සේ වෙත පැමිණි මගධරට වැසි දොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන් දමනය කළ සේක.

මෙසේ තථාගතයන් වහන්සේ විසින් උන්වහන්සේගේ ජීවිතකාලයේ දී දමනය කරන ලද සත්ත්වයෝ ඉතා බොහෝ වූහ. සැවැත්නුවර ම උන්වහන්සේ විසින් දමනය කර ලදුව ආර්‍ය්‍යශ්‍රාවකයන් වී සිටියෝ පන්කෝටියකි. ඔවුන්ගෙන් තුන්ලක්ෂ පස්පනස් දහසක් දෙනා අනාගාමීහු ය. නැවත එහි ම ගණ්ඩබ්බ වෘක්ෂමූලයේ දී යමකප්‍රතිහාර්‍ය්‍ය දැක්වීමේ දී දමිතවූවෝ විසිකෝටියක් වූහ. මංගල සූත්‍රය, මහාරාහුලෝවාද සූත්‍රය, සමචිත්තපරියාය සූත්‍රය, පරාභව සූත්‍රය, පුරාභේද සූත්‍රය, කලහවිවාද සූත්‍රය, චූලබ්‍යුහ සූත්‍රය, මහාබ්‍යුහ සූත්‍රය, තුවටක සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය යන සූත්‍ර එක එකක් දේශනය කිරීමේ දී අප්‍රමාණ දේවතාවෝ දමිත වූහ.

රජගහනුවර තථාගතයන් වහන්සේ විසින් දමිත උපාසකෝපාසිකාවෝ තුන්ලක්ෂ පනස්දහසක් වූහ. ධනපාල සමාගමයේදී අනූකෝටියක් සත්ත්වයෝ දමිත වූහ. පාරායන සමාගමයේදී තුදුස් කෝටියක් සත්ත්වයෝ දමිත වූහ. ඉන්දසාල ගුහාවෙහි සක්කපඤ්හ සූත්‍ර දේශනයේදී අසූ දහසක් දේවතාවෝ දමිත වූහ. ඉසිපතනයේ ප්‍රථම ධර්මදේශනය කිරීමේදී අටළොස් කෝටියක් බ්‍රහ්මයන් හා ගණන් නැති තරම් දෙවියෝ ද දමිත වූහ. තව්තිසා දෙව්ලොව අභිධර්ම දේශනයේදී අසූකෝටියක් දෙවියෝ දමිත වූහ. දෙව්ලොවින් බට කල්හි සංකස්ස නගරද්වාරයේදී තිස්කෝටියක් සත්ත්වයෝ දමිත වූහ.

ශාක්‍යරට කපිලවස්තුපුරයේ නිග්‍රෝධාරාමයේ බුද්ධවංශ දේශනයේ දී ද මහාසමය සූත්‍ර දේශනයේදී ද අප්‍රමාණ දේවතාවෝ දමිත වූහ. සුමනමාලාකාර සමාගමය, ගරහදින්න සමාගමය, අනන්දසෙට්ඨි සමාගමය, ජම්බුකාජීවක සමාගමය, මණ්ඩුකදේවපුත්‍ර සමාගමය, මට්ටකුණ්ඩලීදේවපුත්‍ර සමාගමය, සුලසා නගර සෝභනී සමාගමය, සිරිමා නගර සෝභනී සමාගමය, පේසකාර ධීතු සමාගමය, චූලසුභද්දා සමාගමය, සාකේතබ්‍රාහ්මණ සමාගමය, ආලාහන දස්සන සමාගමය, සුනපරන්තක සමාගමය යන සමාගමයන්හි සූවාසු දහස බැගින් සත්ත්වයෝ දමිත වූහ.

(මේ ගණන මිලින්දපඤ්භයෙනි.)

මෙසේ බෙහෝ සත්ත්වයන් දමනය කළ බැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථී නම් වෙති.

අනුත්තර පුරිසදම්මසාරථී ගුණය විස්තර කිරීමේදී පණ්ඩිතමානයෙන් මත්ව සිටි සච්චකාදීන් දමනය කළ සැටි ද, කුලමානයෙන් මත්ව සිටි ශාක්‍යාදීන් දමනය කළ සැටි ද, ජාතිමානයෙන් මත්ව සිටි ඇතැම් බ්‍රාහ්මණයන් දමනය කළ සැටි ද, මුලාව මිසදිටු ගෙන සිටි ඇතැම් තීර්ථකයන් හා ඔවුන්ගේ ශ්‍රාවකයන් දමනය කළ සැටි ද, අංගුලිමාල - නාලාගිරි - ආලවකාදි අති චණ්ඩයන් දමනය කළ සැටි ද, අතිසම්මූළ්හව සිටි බකබ්‍රහ්මාදීන් දමනය කළ සැටි ද, අදින්නපුබ්බක මච්ඡරියකෝසියාදී මහ මසුරන් දමනය කළ සැටි ද, තවත් දමනයට දුෂ්කර පුද්ගලයන් දමනය කළ සැටි ද විස්තර කළ යුතුය. මේ කුඩා ග්‍රන්ථයෙන් ඒවා විස්තර කළ නොහෙන බැවින් සච්චක දමනය පමණක් මෙහි දක්වනු ලැබේ.

සච්චක දමනය

තථාගතයන් වහන්සේ වැඩ විසූ කාලයේ වෛශාලිපුරයෙහි සච්චක නම් නිගණ්ඨපුත්‍රයෙක් විසී. ඔහුගේ මාපිය දෙදෙන වාද පන්සියය බැගින් දැන සිටි උගතුන්ය. සච්චක ඒ දෙදෙනා දත් සියල්ල ද නොයෙක් ශිල්පශාස්ත්‍ර හා බාහිරසමයයන් ද උගෙන කීර්තිමත් පඬිවරයෙක් විය. ඔහු වෛශාලියෙහි ලිච්ඡවි කුමාරයන්ට උගන්වා ගුරුවරයා ද විය. “තමා තරම් දත්, තමා හා වාදකථා කිරීමට සමත් අනිකකු ලෝකයේ නැතය” කියා සිතා ඔහු පණ්ඩිත මානයෙන් මත්ව සිටියේය.

ඔහු වෛශාලියෙහි ජනයා මැද සිට “මා වාද කළ හොත් වෙවුලා නො යන, කිසිලිවලින් ඩහදිය නො වැගිරෙන පණ්ඩිතයෙක් ගණාචාර්‍ය්‍යයෙක් නැත. සම්‍යක් සම්බුද්ධය යි කියා ගෙන සිටින්නකු වුව ද මා වාද කළ හොත් වෙවුලා යන්නේ ය. ඔහුගේ කිසිලිවලින් ඩහදිය ගලන්නේ ය”යි පුරසාරම් බස් දොඩන්නේ ය.

දිනක් සච්චක වේසාලියෙහි පාගමනින් ඇවිදිනුයේ එහි පිඬු පිණිස පිවිසි අස්සජී මහරහතන් වහන්සේ හමුවී උන්වහන්සේ හා පිළිසඳර කථා කොට “පින්වත් අස්සජියනි, කෙසේ ශ්‍රමණ ගෞතමයෝ ශ්‍රාවකයන් හික්මවත් ද? ශ්‍රමණ ගෞතමයන් බෙහෙවින් ශ්‍රාවකයන්ට අනුශාසනා කරන්නේ කෙසේදැ”යි විචාළේ ය.

“රූපං භික්ඛවෙ අනිච්චං, වේදනා අනිච්චං, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං, රූපං භික්ඛවෙ අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සංඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා, සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ ධම්මා අනත්තා,”

“අග්ගිවෙස්සන, භග්‍යවතුන් වහන්සේ මෙසේ ශ්‍රාවකයන් හික්මවන්නාහ, මෙසේ ශ්‍රාවකයන්ට බෙහෙවින් අනුශාසනා කරන්නාහ”යි අස්සජී තෙරුන් වහන්සේ වදාළහ.

එකල්හි සච්චක “පින්වත් අස්සජියනි, නො ඇසිය යුත්තක් ඇසීමි, යම් කිසි විටෙක, ඒ භවත් ගෞතමයන් මුණ ගැසී කථා කරන්නට වුව හොත් ඔහු මේ පාප දෘෂ්ටියෙන් මිදවිය හැකි වන්නේ ය”යි කීය.

එසමයෙහි පන්සියයක් ලිච්ඡවීහු යම්කිසි කරුණක් නිසා ඔවුන්ගේ සන්ථාගාරයට රැස්ව හුන්හ. භාග්‍යවතුන් වහන්සේ හා ප්‍රසිද්ධියේ වාද කර උන් වහන්සේ පරදවනු කැමැති සච්චක රැස්ව හුන් ලිච්ඡවීන් වෙත ගොස් “පින්වත් ලිච්ඡවීන් අප හා එත්වා, අද ශ්‍රමණ ගෞතමයන් සහ අපත් අතර වාද කථාවක් වන්නේය. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයකු වන අස්සජී භික්ෂුව කී පරිදි ඒ කථාවෙහි ශ්‍රමණ ගෞතමයන් ද එසේ ම පිහිටා සිටිය හොත් මම වාදාරෝපණය කොට වීර්‍ය්‍ය ඇති පුරුෂයකු විසින් දික් ලොම් ඇති එළුවකු ලොම් වලින් අල්ලා ඒ මේ අත අදිමින් සොලවන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන් වාද කථාවෙන් සොලවන්නෙමි. සුරාධූර්තයකු සුරාපානස්ථානයේ එළන කළාලය පිරිසිදු කරනු පිණිස කොනකින් ගෙන ගැඹුරු දියෙහි ගසා හෙලන්නාක් මෙන් සුරාධූර්තයකු සුරා පෙරණ මහ පෙරහනෙහි කසට හරිනු පිණිස දියෙහි ලා කොනකින් ගෙන ගසා හෙලන්නාක් මෙන්, හණ සේදීමේ යෙදෙන අය දියෙහි ලා තුබූ හණමිටි ගෙන ගස ගසා සෝදන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් සොලවාලමි, ගසාලමි, පින්වත් ලිච්ඡවීනි, වහා එත්වා, අද ශ්‍රමණ ගෞතමයන් හා අපත් අතර වාදකථාවක් ඇතිවන්නේය”යි කීය.

එකල්හි ඇතැම් ලිච්ඡවීහු කිමෙක් ද ශ්‍රමණ ගෞතමයෝ සච්චක නිගණ්ඨ පුත්‍රයා හට වාදාරෝපණය කෙරෙත් ද? නැත හොත් සච්චක නිගණ්ඨ පුත්‍රයෝ ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපණය කෙරෙත්දැ”යි කීහ. එය අසා ඇතැම් ලිච්ඡවීහු “සච්චක නිගණ්ඨ පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපණය කරන්නට කවරෙක් ද? ඔහුට භාග්‍යවතුන් වහන්සේ ට වාදාරෝපණය කළ හැකි ද? භාග්‍යවතුන් වහන්සේ ම සච්චක නිගණ්ඨ පුත්‍රයා හට වාදාරෝපණය කරන්නාහ”යි කීය.

ඉක්බිති සච්චක තමාගේ සපන්කම් පෙන්වීමට පන්සියයක් ලිච්ඡවීන් ද කැඳවා ගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ වෙසෙන මහා වනයෙහි කූටාගාර ශාලාව වෙත ගියේ ය. එකල්හි බොහෝ භික්ෂූහූ අභ්‍යවකාශයෙහි සක්මන් කරමින් උන්හ. සච්චක ඒ භික්ෂූන් වෙත ගොස් “ශ්‍රමණ ගෞතමයෝ කොහි වෙසෙත් දැ”යි ඇසීය. “මහවෙනෙහි ගසක් මුල තථාගතයන් වහන්සේ වැඩ සිටිති”යි භික්ෂූහු කීය. එදින තථාගතයන් වහන්සේ සච්චකයා මහ පිරිසක් සමඟ වාදයට එන බව කලින් ම දැන වදාරා පිරිසට ඉඩ ඇති වනු පිණිස මහවනයෙහි ගසක් මුල වැඩ හුන් සේක.

සච්චක පිරිස සමඟ එහි ගොස් තථාගතයන් වහන්සේ හා පිළිසඳර කථා කොට එකත්පසෙක හිඳගත්තේ ය. ලිච්ඡවීහු ද වාදය බලනු රිසියෙන් තම තමන්ට සුදුසු තැන් වල හිඳගත්හ. ඉක්බිති සච්චක “පින්වත් ගෞතමයන්ගේ අවසර ලැබෙත හොත් යම් කිසිවක් විචාරමි”යි කී ය, “කැමැති නම් අසව අග්ගිවෙස්සන”යි තථාගතයන් වහන්සේ වදාළහ.

එකල්හි සච්චක “පින්වත් ගෞතමයනි, ඔබ ශ්‍රාවකයන් කෙසේ හික්මවන්නෙහි ද? ඔබ ශ්‍රාවකයනට බෙහෙවින් අනුශාසනා කරන්නේ කෙසේ දැ”යි ඇසීය. අස්සජී තෙරුන්වහන්සේ ඔහුට වදාළ අකාරය මඳකුදු වෙනස් කර තථාගතයන් වහන්සේ විසින් වදාළ හොත් පරාජයෙන් පසු අස්සජී භික්ෂුව කීයේ අනිකක, ශ්‍රමණ ගෞතමයන් කියන්නේ අනිකක, මා ආයේ අස්සජී භික්ෂුව කී ලෙස ශ්‍රමණ ගෞතමයන් කියතහොත් වාදාරෝපණය කිරීමටය කියා, සච්චකට ගැලවී යන්නට ඉඩ නො ලැබෙනු පිණිස තථාගතයන් වහන්සේ මඳ වෙනසකුදු නො කොට අසස්ජී තෙරුන් වහන්සේ වදාළ ලෙසම:-

“රූපං භික්ඛවෙ අනිච්චං, වේදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං, රූපං භික්ඛවෙ අනත්තා, වේදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සංඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා, සබ්බෙ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනත්තා,”

“මෙසේ මම ශ්‍රාවකයන් හික්මවමි, ශ්‍රාවකයනට බෙහෙවින් අනුශාසනා කරමි”යි වදාළ සේක.

එකල්හි සච්චක නිගණ්ඨපුත්‍ර “පින්වත් ගෞතමයෙනි, මට උපමාවක් වැටහේය”යි කීය. “කියව, අග්ගිවෙස්සන”යි තථාගතයන් වහන්සේ වදාළහ. “පින්වත් ගෞතමයෙනි, යම් බීජ ජාතියක් පැළ වී ගස්-වැල් වී වැඩෙත් නම් ඒ සියල්ල පොළොව ඇසුරු කොට පොළොවෙහි පිහිටා වැඩෙත් ද, කාය බලයෙන් කරනු ලබන යම් කර්මාන්තයෝ වෙත් ද, ඒ සියල්ල පොළොව නිසා පොළොවෙහි පිහිටා කරනු ලැබෙත් ද, එමෙන් රූපය ආත්මකොට ඇති පුද්ගල තෙමේ රූපයෙහි පිහිටා පින් හෝ පව් රැස් කරයි, වේදනාව ආත්ම කොට ඇති පුද්ගල තෙමේ වේදනාවෙහි පිහිටා පින් හෝ පව් රැස් කරයි, සංඥාව ආත්ම කොට ඇති පුද්ගල තෙමේ සංඥාවෙහි පිහිටා පිං හෝ පව් රැස් කරයි, සංස්කාරයන් ආත්ම කොට ඇති පුද්ගල තෙමේ සංස්කාරයන් හි පිහිටා පින් හෝ පව් රැස් කරයි. විඥානය ආත්ම කොට ඇති පුද්ගල තෙමේ විඥානයෙහි පිහිටි පින් හෝ පව් රැස් කෙරේය”යි සච්චක කීය.

“අග්ගිවෙස්සන, නුඹ රූපය මගේ ආත්මය ය. වේදනාව මගේ ආත්මය ය, සංඥාව මගේ ආත්මය ය, සංස්කාරයෝ මාගේ ආත්මය ය, විඥානය මගේ ආත්මය ය යි කියන්නෙහි දැ”යි තථාගතයන් වහන්සේ වදාළහ.

“පින්වත් ගෞතමයෙනි, රූපයේ මාගේ ආත්මය ය, වේදනාව මාගේ ආත්මය ය, සංඥාව මාගේ ආත්මය ය, සංස්කාරයෝ මාගේ ආත්මය ය, විඥානය මාගේ ආත්මය ය යි මම කියමි. මේ මහජන සමූහය ද එසේ කියති”යි සච්චක කීය.

තථාගතයන් වහන්සේ විසින් සච්චකයා කියන දෙය නැවතත් විචාරා ඔහු ඒ කථාවෙහි හොඳට ම පිහිට වූ බැවින් ඔහුට තමාගේ කීමෙහි යම්කිසි වරදක් ඇත්තේ ද? කියා සැක ඇති විය. ඔහු කෛරාටිකයෙකි. වරදක් ඇතොත් එය තමා පිට පමණක් නො වැටී සැම දෙනා පිටම වැටේවා යි සිතා අනික් අයත් එයට ඈඳා ගනු පිණිස “මේ ජනසමූහයත් එසේ කියන්නාහ”යි සච්චක කීය.

කොතරම් කෛරාටිකයකුට වුව ද බුදුරදුන් රවටන්නට නො පිළිවන. මහජනයා පිට වරද පටවා ඔහුට නිදහස් වන්නට ඉඩ නො තබනු පිණිස තථාගතයන් වහන්සේ “අග්ගිවෙස්සන, මහජනයාගේ අදහස් කුමට ද? අප හා වාදයට ආවේ මේ ජන සමූහය නොව නුඹය. නුඹේ වාදයම කියව”යි වදාළහ. “පින්වත් ගෞතමයෙනි, මම රූපය මාගේ ආත්මය ය, වේදනාව මාගේ ආත්මය ය, සංඥා මාගේ ආත්මය ය, සංස්කාරයෝ මාගේ ආත්මය ය, විඥානය මාගේ ආත්මය ය යි කියමි”යි සච්චක කීය.

“අග්ගිවෙස්සන, මම නුඹෙන් මේ කාරණය අසමි. නුඹට වැටහෙන සැටියකට එය විසඳන්න. අග්ගිවෙස්සන, රජයෙහි අභිෂේක ලත් රජෙකුට මේ පසේනදී කොසොල් රජුට මෙන් අජාසත් රජුට මෙන් තමාගේ රටෙහි මරා දැමිය යුත්තන් මරා දැමිය හැකි ලෙසත්, ධනය ගෙන දුප්පත් කළ යුත්තන් දුප්පත් කළ හැකි ලෙසත්, රටෙන් නෙරපිය යුත්තන් නෙරපිය හැකි ලෙසත්, තමාගේ ආධිපත්‍යය තමාගේ අණසක සිය රටෙහි පැවැත්විය හැක්කේ නො වේ දැ”යි තථාගතයන් වහන්සේ වදාළහ.

සච්චකගේ වාදය බිඳලනු පිණිස තථාගතයන් වහන්සේ විසින් ඉදිරිපත් කළ කරුණ කුමට ඉදිරිපත් කරන ලද්දක් දැයි නොදත් සච්චක, තමාගේ බෙල්ල කපන්නාට තමා ම කඩුව මුවහත් කර දෙන්නාක් මෙන් “පින්වත් ගෞතමයෙනි, අභිෂේක ලත් රජුට පසේ නදී කෙසොල් රජුට මෙන්, අජාසත් රජුට මෙන් තමාගේ රටෙහි තමාගේ ආඥාව තමාගේ ආධිපත්‍ය පැවැත්විය හැකිය. පැවැත්වීමට සුදුසු බවක් ද ඇත්තේ ය. ගෞතමයෙනි, කොසොල් රජුට හා අජාසත් රජුට පමණක් නොව මේ වජ්ජීන්ට හා මල්ලයන්ට ද ඔවුන්ගේ රටවල ආඥාව පැවැත්විය හැකිය. ඔවුන්ටත් එසේ කිරීමට සුදුසු බවක් ද ඇත්තේය”යි තථාගතයන් වහන්සේ වදාළ කරුණ වඩාත් වර්ණනා කොට සච්චකයා අනුමත කෙළේ ය.

එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක්, “අග්ගිවෙස්සන, නුඹ රූපය මගේ ආත්මය යි කියන්නෙහි ය. එය එසේ නම් රජුන්ට සිය රටෙහි තමන්ගේ ආඥාව පැවැත්විය හැකි වන්නාක් මෙන් නුඹේ රූපයෙහි නුඹේ ආඥාව ආධිපත්‍යය පැවැත්විය හැකි විය යුතු ය, මගේ රූපය මෙසේ වේවා, මෙසේ නො වේවා ය කියා නුඹේ රූපය කෙරෙහි නුඹේ ආඥාව ආධිපත්‍ය පැවැත්විය හැකි දැ”යි වදාළ සේක.

තථාගතයන් වහන්සේගේ ප්‍රශ්නය සච්චකට උභතෝකෝටික ප්‍රශ්නයක් විය. කෙසේ පිළිතුරු දුන ද ඔහුට ගැලවීමක් නැත. ඉදින් “රූපයෙහි තමාගේ ආධිපත්‍ය පැවැත්විය හැකිය”යි පිළිතුරු දුන හොත් ලිච්ඡවීහු නැඟී සිට “ආචාර්‍ය්‍යයෙනි, රූපයේ ඔබගේ ආධිපත්‍යය පැවැත්විය හැකි නම් ඔබගේ ඔය වීරූප ශරීරය මේ ලිච්ඡවීන්ගේ ශරීර මෙන් ලස්සන කර නොගන්නේ මන්දැ”යි කියමින් සච්චකයා පෙළන්නාහ. ඉදින් “රූපය කෙරෙහි ආධිපත්‍යය නො පැවැත්විය හැකිය” පිළිතුරු දුනහොත් “නුඹ කලින් රූපය මගේ ආත්මයය යි කියා දැන් අනිකක් කියන්නෙහිය”යි තථාගතයන් වහන්සේ වදාරෝපණය කරන්නාහ. මෙසේ කිව ද ගැලවීමක් නො ලැබිය හැකි බව වැටහී සච්චක තුෂ්ණීම්භූත විය. තථාගතයන් වහන්සේ දෙවනුව ද විචාලේ ය. සච්චක තුෂ්ණීම්භූත විය.

එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක්, “අග්ගිවෙස්සන, වහා පිළිතුරු දෙනු, මේ නුඹට තුෂ්ණීම්භූත විමට කාලය නොවේ. අග්ගිවෙස්සන, තථාගතයන් වහන්සේ විසින් තුන්වන වරටත් විචාළ පසු යමෙකු පිළිතුරු නොදී සිටිය හොත් එතැනදී ම ඔහුගේ හිස සත්කඩකට පැලී යන්නේය”යි වදාළහ.

තථාගතයන් වහන්සේ ලොවුතුරා බුදුබවට පැමිණි අලුත මා විසින් අවබෝධ කරන ලද මේ ගැඹුරු වූ සියුම් වූ ධර්මය දේශනය කළ ද මේ සත්ත්වයන්ට නො වැටහෙනු ඇතය යි දහම් දෙසීමට මන්දෝත්සාහී වූ දිනයෙහි සක්දෙව්රජ මහා බ්‍රහ්මයා හා බුදුරදුන් වෙත පැමිණ “ස්වාමීනි, දහම් දෙසනු මැනව, නුඹ වහන්සේගේ අණට අකීකරු වන්නවුන් අපි කීකරු කරවන්නෙමුය, නුඹ වහන්සේට ධර්මචක්‍රය වේවා, අපට ආඥාචක්‍රය වේවා”යි කියා කරන ලද ප්‍රතිඥාවක් ඇති බැවින් සච්චක තථාගතයන් වහන්සේගේ අණට කීකරු නොවී සිටින කල්හි ඒ බව සක්දෙවිඳු දැක සච්චක ලවා ප්‍රශ්න විසඳවනු පිණිස එහි පැමිණියේ ය.

ඉක්බිති සක්දෙවිදු රුදුරු යක් වෙසක් ගෙන ගිනිදැල් විහිදෙන වජ්‍රායුධයක් සච්චකගේ හිසට උරුක්කර ගෙන සිටියේ ය. යකු පෙනෙන්නේ සච්චකට හා බුදුනට පමණි. යකු දැකීමෙන් සච්චකගේ ඇඟේ ලේ උණු විය. පපුව ගැහෙන්නට විය. කිසිලිවලින් පමණක් නොව නළල් වටින් ද දහඩිය ගලන්නට විය. තමාට යකෙකු පෙනෙතත් සෙස්සන්ට යකු නො පෙනෙන බව පිරිස හැසිරෙන ආකාරය බලා සච්චක තේරුම් ගත්තේ ය. යකෙකු ගැන කථා කළ හොත් මෙතෙක් නො පෙනුණු යකුන් නුඹට පෙනෙන්නට පටන් ගත්තේ දැන් ද? කියා සෙස්සෝ ඔහුට පරිහාස කරන්නාහ. ඒ බව දන්නා සච්චක මේ වෙලාවේ මට බුදුරදුන්ගේ පිහිට හැර අන් පිහිටක් නැතය සිතා “පින්වත් ගෞතමයෙනි, අසනු මැනවි, මම පිළිතුරු දෙමි”යි කීය.

ඉක්බිති බුදුරදුන් හා සච්චක අතර ඇති වූ ප්‍රශ්නෝත්තර කථාව මෙසේ ය.

“අග්ගිවෙස්සන, නුඹ රූපය මාගේ ආත්මය ය යි කියන්නෙහි ය. මාගේ රූපය මෙසේ වේවා! මෙසේ නො වේවා යි රූපය කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකි ද?”

“නො හැකියි, ගෞතමයෙනි,”

“කල්පනා කරන්න අග්ගිවෙස්සන, කල්පනාවෙන් කථා කරන්න. නුඹේ පළමු බස හා පසුව කී බස සැසඳෙන්නේ නැත. අග්ගිවෙස්සන, නුඹ වේදනාව මාගේ ආත්මය යි කියන්නෙ හිය, මාහට මෙබඳු වේදනා වේවා, මෙබදු වේදනා නො වේවා යි වේදනාව කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකි ද?

“නො හැකියි, ගෞතමයෙනි,”

“කල්පනා කරන්න අග්ගිවෙස්සන, කල්පනා කර කථා කරන්න, නුඹේ පළමු කීම හා පසුව කීම නො සැසඳෙයි, අග්ගිවෙස්සන, නුඹ සංඥාව මගේ ආත්මයයි කියන්නෙහි ය, මා හට මෙබදු සංඥාව වෙත්වා! මෙබදු සංඥාව නො වෙත්වා යි සංඥාව කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකි ද?”

“නො හැකියි, ගෞතමයෙනි,”

“කල්පනා කරන්න අග්ගිවෙස්සන, කල්පනා කොට කථා කරන්න, නුඹේ පළමු කීම හා පසුව කීම නො සැසඳෙයි, අග්ගිවෙස්සන, සංස්කාරයෝ මගේ ආත්මය යි කියන්නෙහි ය, මට මෙබදු සංස්කාරයෝ වේවා, මෙබදු සංස්කාරයෝ නො වේවා යි සංස්කාරයන් කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකි ද?

“නො හැකියි, ගෞතමයෙනි,”

“කල්පනා කරන්න අග්ගිවෙස්සන, කල්පනා කොට කථා කරන්න, නුඹේ පළමු කීම හා පසුව කීම නො සැසඳෙයි, අග්ගිවෙස්සන, නුඹ විඥානය මගේ ආත්මය යි කියන්නෙහි ය, මට මෙබදු විඥානයක් වේවා. මෙබඳු විඥානයක් නො වේවා යි විඥානය කෙරෙහි නුඹේ බලය පැවැත්විය හැකි ද?

“නො හැකියි, ගෞතමයෙනි,”

“කල්පනා කරන්න අග්ගිවෙස්සන, කල්පනා කොට කථා කරන්න, නුඹේ පළමු කීම හා පසුව කීම සැසඳෙන්නේ නොවේ. අග්ගිවෙස්සන, රූපය නිත්‍ය ද? අනිත්‍ය ද?

“ගෞතමයෙනි, අනිත්‍ය යි,”

“යමක් අනිත්‍ය නම් එය සුඛයක් ද? දුක්ඛයක් ද?”

“එය දුඃඛයක්, ගෞතමයෙනි,”

“යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වාභාවය ඇත්තේ නම් ඒ දෙය මාගේ ය කියා හෝ එය මමය කියා හෝ එය මගේ ආත්මය කියා හෝ ගැනීම සුදුසු ද?”

“සුදුසු නො වෙයි, ගෞතමයෙනි,”

වේදනා - සංඥා - සංස්කාර- විඥානයන් ගැන විචාළ කල්හි ද සච්චක එසේ ම පිළිතුරු දිණ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්, “කිමද අග්ගිවෙස්සන, යමෙක් පඤ්චස්කන්ධය මාගේය මමය මාගේ ආත්මයයි ගෙන පඤ්චස්කන්ධය සංඛ්‍යාත දුක්ඛයෙහි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඇලී ගැලී සිටී නම්, ඔහු දුක්ඛය මේය කියා හැඳින ගනී ද දුක් කෙළවර කොට හෝ වෙසේ දැ”යි විචාළහ. “පින්වත් ගෞතමයනි, කෙසේ නම් එසේ වේද? නොවේ ම ය”යි සච්චක කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ “එසේ නම් අග්ගිවෙස්සන, නුඹ දුක ම මාගේ ය කියා ද මමය කියා ද මාගේ ආත්මය කියා ද ගනිමින් දුකෙහි ම ඇලී ගැලී සිටින්නෙක් නො වෙහිදැ”යි විචාළහ. “එසේ ය, ගෞතමයෙනි,”යි සච්චක කීය.

ඉක්බිති තථාගතයන් වහන්සේ “අග්ගිවෙස්සන හරයක් සොයනු කැමති පුරුෂයකු තියුණු පොරොවක් ගෙන වනයට පිවිස එහි මහත් වූ කෙසෙල් ගසක් දැක එහි මුල කපා අග කපා කඳ ගෙන හරය සොයනු පිණිස එකින් එක පතුරු ගැළවුව හොත් ඔහුට හරයක් ලබා එලයකුදු දක්නට නො ලැබෙන්නේ ය. එමෙන්ම අප විසින් නුඹේ වාදය එකින් එකට විමසූ කල්හි එහි කිසි හරයක් නො ලැබිණ. නුඹ පරාජිත වූවෙහි ය. “අග්ගිවෙස්සන, නුඹ වෛශාලියෙහි ජනයා මැද මා වාද කථා කළ හොත් අර්හත් සම්‍යක්සම්බුද්ධ වෙමි යි කියා ගෙන සිටින කෙනෙකු වුව ද වෙවුලා යන්නේ ය, ඔහුගෙන් ඩහදිය ගලන්නට වන්නේ ය. මා වාද කථා කළහොත් සිත් නැති කණුවක් වුවද වෙවුලා යන්නේය”යි කීයෙහි, එහෙත් දැන් නුඹේ නලළින් ගලන ඩහදිය නුඹේ උතුරු සළුවට වැටී එය විනිවිද පොළොවටත් වැටෙන්නේ ය. මාගේ ශරීරයෙහි නම් දහඩිය බිඳකුදු නැතැ යි වදාරා සිවුර ද කයින් මඳක් ඉවත් කොට දැක්වූ සේක.

සච්චක සර්වඥභාවය ප්‍රකාශ කර සිටින අන්‍ය ශාස්තෲවරයන් වෙත ගොස් වාද කොට ඔවුන් පරදවා ජය ඝෝෂා කරමින් එන්නෙකි. ඔහු තමාගේ සපන්කම් කියමින් සිටියේ එහෙයිනි. බුදුරජාණන් වහන්සේ ඔහුගේ වාදයෙහි නිසරු බව දක්වා ඔහු පරාජිත බව පැවසු කල්හි සච්චක පරාජය පිළිගෙන කර කියාගත හැකි කිසිවක් නැතිව ලජ්ජාවෙන් බිම බලාගෙන හුන්නේ ය.

සච්චක හොඳට ම දමනය වී ලජ්ජාවෙන් මිරිකෙමින් බිම බලාගෙන ඉන්නා කල්හි දුර්මුඛ නම් ලිච්ඡවී කුමාරයා “භාග්‍යවතුන් වහන්ස, මට උපමාවක් වැටහේය”යි කීය. “කියව දුර්මුඛය”යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි දුර්මුඛ ඔහුගේ උපමාව කියනුයේ “ස්වාමීනි, ගමක් සමීපයේ පොකුණක් ඇත, එහි මහා කකුළුවෙක් ද ඇත. දිනක් ගමේ දරුදැරියන් සමූහයක් එහි ගොස් පොකුණට බැස කකුළුවා ගොඩ දැම්මෝය. ඌ අඬු දිගු කරන්නට පටන් ගත්තේ ය. එයින් ගමේ දරුවෝ ලී කැබලි වලින් හෝ කැබිලිති වලින් හෝ උගේ අඬුටිකද සිඳ දැම්මෝ ය. ඌ නැවත පොකුණට පැමිණීමට නො සමත් විය. එමෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ නිගණ්ඨපුත්‍ර සච්චකගේ දෘෂ්ටි නමැති අඬු සිඳලන ලද්දේ ය. එයින් සච්චක නැවත වාද කරනු රිසියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එන තැනට පැමිණියේය”යි කීය.

ශාස්ත්‍රෝද්ග්‍රහණයේ දී සච්චකගෙන් නිග්‍රහ ලැබ ඔහු හා අමනාපයෙන් සිටින ලිච්ඡවී කුමාරයන් බොහෝ දෙනෙක් ද එහි පැමිණ සිටියෝ ය. සච්චකට නිග්‍රහ කිරීමට මේ හොඳම වේලාවයයි ඔවුහු ද දුර්මුඛගේ කථාව අවසන් වන තුරු නො ඉවසිල්ලෙන් සිටියහ. සච්චක ඔවුන් සිටින ආකාරයෙන් ම ඒ බව තේරුම් ගෙන ඔවුනට කථා කරන්නට ඉඩ නො ලැබෙනු පිණිස “නවත්වනු දුර්මුඛ, නුඹ හා අපගේ කථාවක් නැත. අප මෙහි කථා කරන්නේ ශ්‍රමණ ගෞතමයන් සමඟ ය”යි කියා, නැවතත් බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න විචාළේ ය. තථාගතයන් වහන්සේ ඒවාට පිළිතුරු වදාළහ.

ඉක්බිති සච්චක “පින්වත් ගෞතමයෙනි, ඔබ හා වාදයට ආ අපි ම වරද කරුවෝ වෙමු. මද කිපුණු ඇතෙකු හා ගැටෙන්නට ගිය එකකුට සෙතක් විය හැක ය. ඝෝර විෂැති සර්පයකු හා ගැටුණු එකකුට සෙතක් විය හැකි ය. මහා ගිනි කඳක් හා ගැටුණු එකකුට සෙතක් විය හැකි ය. භවත් ගෞතමයන් හා ගැටෙන්නට ආ එකකුට සෙතක් නම් නොවන්නේ ම ය. භවත් ගෞතමයන් හා වාදයට අවුත් අප කළේ වරදකැ”යි කියා “පින්වත් ගෞතමයනි, සෙට දින භික්ෂු සංඝයා ද සමග මාගේ දානය ඉවසනු මැනව ”යි ද කීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක.

සච්චක, ලිච්ඡවීන් විසින් පුදනු ලබන උසස් පුද්ගලයෙකි. ලිච්ඡවීහු දිනකට බත් සැළි පන්සියය බැගින් යවති. එදා ඔහු තමාට එවන බත් සැළි බුදුනට පිරිනැමීමට සුදුසු සේ පිළියෙල කර එවන ලෙස ලිච්ඡවීන්ට දැන්වී ය. ලිච්ඡවීහු පසු දින සුදුසු සේ පිළියෙල කළ පන්සියයක් බත් සැළි සච්චකගේ අරමට යැවූහ. ඔහු සිය අරමෙහි ප්‍රණීත ලෙස දන් පිළියෙල කරවා අසුන් පනවවා බුදුරදුන්ට දන්වා යැවී ය. තථාගතයන් වහන්සේ බික්සඟන සමඟ එහි වැඩම කොට ඔහුගේ දානය පිළිගෙන වදාළ සේක. වළඳවා අවසානයේදී සච්චක බුදුරදුන් සමීපයේ එක් මිටි අසුනක වාඩිවී “පින්වත් ගෞතමයෙනි, මේ දානයෙන් වන යම් පිනක් වේ නම් යම් ආනිසංසයක් වේ නම් එය මේ ලිච්ඡවීන්ට වේවා”යි කීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “අවීතරාගී අවීතද්වේෂී අවීතමෝහී තොපට දීමෙන් වන ඵලය දායකයන්ට වන්නේ ය. අපට දුන්නේ නුඹය, අප වැනි වීතරාගී වීතද්වේෂී වීතමෝහී දක්ෂිණාර්හයන්ට දීමෙන් වන ඵලය නුඹට වන්නේය”යි සච්චක ඉන් ඵලයක් බලාපොරොත්තු නොවතුදු අනාගත වාසනාව පිණිස දානයෙන් වන ඵලය ඔහුට ම පැවරූ සේක.

එදා සච්චක බුදුරදුන් හා වාදයට ගොස් පරාජය ලැබ මහජනයා මැද ලැජ්ජාවට පත් වුව ද එපමණකින් ඔහු බුදුරදුන් පැරදවීමේ අදහස නො හළේ ය. ඔහු නැවතත් බුදුරදුන් හා වාද කිරීමට නිද්‍රාව පිළිබඳ ප්‍රශ්ණයක් ගොතා ගත්තේ ය. “කලින් මා පිරිස කැඳවා ගෙන ශ්‍රමණ ගෞතමයන් වෙත යාමෙන් කළේ අනුවණ කමෙක, වාදයට යා යුත්තේ අප්‍රසිද්ධියේ ය. එසේ ගොස් ශ්‍රමණ ගෞතමයා පැරදවිය හැකි වී නම් මගේ ලබ්ධිය දක්වා ජය ප්‍රකාශ කළ හැකි ය. මා පැරදුන ද අඳුරෙහි කළ නැටුමක් සෙයින් කිසිවෙක් නොදැන ගන්නාහ”යි සිතා, තථාගතයන් වහන්සේට දෝෂාරෝපනය පිණිස ඔහු තනිවම ගියේ ය. මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ ඔහුට දහම් දෙසීමෙන් අනාගතයේ විය හැකි යහපත දැන වදාරා කරුණා පෙරදැරිව සච්චකයා පිළිගෙන ඔහුගේ ප්‍රශ්න විසඳමින් මහාසච්චක සූත්‍ර ධර්මය වදාළ සේක. සච්චකගේ නුවණ මෝරා නො තුබුණෙන් සූත්‍ර දෙකක් ම අසා ද ඔහුට ධර්මාවබෝධය නො වීය. යටත් පිරිසෙයින් අත් ඔසවා වැඳීම් මාත්‍රයකුදු නො කරන මේ නිගණ්ඨයාට තථාගතයන් වහන්සේ බොහෝ වෙහෙස ගෙන ධර්මදේශනා කරන ලදුයේ අනාගතයේ ඔහුට ලක්දිව ඉපිද පැවිදිව රහත් ව නිවන් දැකිය හැකි වන බව දුටු හෙයිනි.

තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. සච්චක ද මිනිස් ලොවින් චුතව දෙව්ලොව උපන්නේ ය. මෙහි බුදුසසුන පිහිටි පසු සච්චක දෙව්ලොවින් චුතව දක්ෂිණගිරි විහාරස්ථානයෙහි ඇමති පවුලක ඉපිද පැවිදි වීමට සුදුසු වයසට පැමිණි කල්හි ගිහිගෙන් නික්ම පැවිදි විය. ඔහු කාළබුද්ධරක්ඛිත නම් වීය. ඒ භික්ෂු තෙමේ ත්‍රිපිටක ධර්මය මැනවින් උගෙන ආචාර්‍ය්‍යවරයෙක් වී දිනක් බොහෝ භික්ෂූන් සමග උපාධ්‍යායයන් දක්නට ගියේ ය. උපාධ්‍යායයන් වහන්සේ තමන්ගේ සද්ධිවිහාරිකයා හික්මවන්නට සිතා ත්‍රිපිටකය උගෙන මහා පිරිසකුත් සමඟ පැමිණි කාළබුද්ධරක්ඛිතට මුහුණ නුදුන්හ. අන් සැලකිල්ලක් තබා පිළිසඳර කථා මාත්‍රයකුදු නො කළහ. පසු දින උදෑසන බුද්ධරක්ඛිත භික්ෂු තෙමේ උපාධ්‍යායන් වෙත ගොස් වැඳ “ස්වාමීනි, මම ත්‍රිපිටක ධර්මය උගෙනීම නිම කොට නුඹ වහන්සේ දක්නට පැමිණියෙමි. නුඹ වහන්සේ මට මුහුණ දී කථාවකු දු නො කරන සේක. මා අතින් සිදුවී ඇති වරද කිමදැ”යි කීය. එකල්හි තෙරණුවෝ “ඇවැත්නි, බුද්ධරක්ඛිත ඔබ ත්‍රිපිටකය උගත් පමණින් පැවිදි කිස නිම වී යයි සිතන්නෙහිදැ”යි කීය. “ස්වාමීනි, කුමක් කරන්නෙම්දැ“යි බුද්ධරක්ඛිත භික්ෂු නම කීය. පිරිස හැර පළිබෝධ සිඳ, කසිතපබ්බත විහාරයට ගොස් මහණ දම් කරව”යි තෙරුන් වහන්සේ කීය. බුද්ධරක්ඛිත භික්ෂු තෙමේ උපාධ්‍යායන්ගේ අවවාදයෙහි පිහිටා මහණදම් පුරා සිවුපිළිසිඹියාවන් සහිතව අර්හත්වයට පැමිණ බොහෝ භික්ෂූන් පිරිවර කොට ඇති රාජ පූජිත තෙරනමක් වී චේතියපබ්බත විහාරයෙහි වාසය කෙළේ ය. ඒකාලයේ තිස්ස රජ සිල් සමාදන්ව සෑගිරියේ රජලෙණෙහි වාසය කරයි. රජතුමා “කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ දහම් දෙසන, ප්‍රශ්න විසඳන අවස්ථාවක් වේ නම් මට දන්වනු මැනවයි” තෙරුන් වහන්සේගේ උපස්ථායක භික්ෂුවකට කියා තැබුයේ ය. එක් දිනක් කාලබුද්ධරක්ඛිත තෙරණුවෝ භික්ෂුසංඝයා සමඟ කණ්ඨක චෛත්‍යය වැඳ එය සමීපයෙහි කළු තිඹිරිගසක් මුල සිටියහ. එකල්හි එක් පිණ්ඩපාතික තෙරනමක් උන්වහන්සේගෙන් කාළකාරාම සූත්‍රයෙන් ප්‍රශ්නයක් ඇසීය. එය පොහෝ දිනයෙකි. තෙරුන් වහන්සේ “අද දහම් අසන දිනය නො වේදැ”යි භික්ෂූන්ගෙන් ඇසූහ. භික්ෂූහු “එසේය”යි පිළිතුරු දුන්හ. එසේ නම් “පුටුවක් ගෙනව, අද මෙහි ම දහම් දෙසමි”යි වදාළහ. තෙරුවන් වහන්සේ එහි වැඩ හිඳ රාත්‍රිය මුළුල්ලෙහි කාළකාරාම සූත්‍රයෙන් දහම් දෙසූහ.

කාළකාරාමසූත්‍රය, සූත්‍රදේශනා අතුරෙන් ඉතා උසස් සූත්‍රධර්මයෙකි. එය දේශනය කිරීමේදී පස් වරක් පොළොව කම්පිත විය. එය ඇසීමෙන් පන්සියයක් භික්ෂූහු සව්කෙලෙසුන් නසා රහත් වූහ. සුවාසූ දහසක් සත්ත්වයනට ධර්මාභිසමය විය. එය බුදුගුණ දැක්වෙන සූත්‍රයෙකි. මේ බුද්ධගුණ කථනස්ථානයේ දී එය දැක්වීමට යෝග්‍ය සූත්‍රධර්මයක් වුව ද ඉතා ගැඹුරු වූ ඒ සූත්‍රයේ ධර්ම රසය සැමටම ලැබිය නොහෙන බැවින් මෙයට ඇතුළු නො කරනු ලැබේ. එය අඞ්ගුත්තරනිකායේ චතුෂ්කනිපාතයේ පඨමපණ්ණාසකයේ උරුවේලවග්ගයේ සතරවන සූත්‍රය ය.

කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ දහම් දෙසන බව උපස්ථායක භික්ෂුව තිස්ස රජුට දැන්වීය. තෙරුන් වහන්සේ දහම් දෙසීමේදී පූර්වභාගයේ කියන ගාථා දේශනය කොට නිම වේගන යන කල්හි රජතුමා දහම් අසනු සඳහා එහි ගොස් අප්‍රසිද්ධ වේශයෙන් පිරිස් කෙළවර සිටගෙන රාත්‍රිය මුළුල්ලෙහි ධර්මය ශ්‍රවණය කළේ ය. තෙරුන්වහන්සේ ධර්මදේශනය අවසන් කරනු පිණිස “ඉදමවොච භගවා”යි වදාරන කල්හි රජතුමා සාධුකාර දිණ. තෙරුන් වහන්සේ රජු ගේ හඬ අසා හැඳින “මහරජ, කොයිවේලේ ආයෙහිදැ”යි විචාළහ. “ස්වාමීනි, නුඹ වහන්සේ පූර්ව ගාථා වදාරා අවසන් කරන වේලාවෙහිය”යි රජතුමා කීය. “මහරජ, තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි සිට ගෙනම දහම් ඇසීමෙන් ඔබ දුෂ්කර වැඩක් කෙළෙහි ය”යි තෙරුන් වහන්සේ කීහ. “ස්වාමීනි දුෂ්කර දෙයක් නොවේ. ස්වාමීනි, නුඹවහන්සේ දහම් දෙසීමට ආරම්භ කළ තැන් පටන් එක පදයෙක්හි ද මා අන්‍ය විහිත වී නම් මේ ලක්දිව පොළොවෙන් කෙවිටක් සිටවන තරමේ තැනකුදු මා හට හිමි නො වේවා”යි රජතුමා කීය.

තෙරුවන් වහන්සේ විසින් කළ බුදුගුණ දේශනය ඇසූ රජතුමා “ස්වාමීනි, බුදුගුණ මෙපමණ ද, තවත් ඇත්දැ”යි කී ය. “මහරජ, මා කී බුදුගුණ වලට වඩා නොකී බුදුගුණ ඉතා බොහෝ ය”යි තෙරුන් වහන්සේ කීහ. “ස්වාමීනි, උපමාවක් දක්වනු මැනව”යි රජු කීය. “මහරජ සියකිරියක් වැපිරෙන කුඹුරක එක් ගොයම් කරලකට ඉතිරි ගොයම් කරල් වැඩි වන්නාක් මෙන් මා කී බුදුගුණ ඉතා මඳය, නොකී බුදුගුණ ම ඉතා බොහෝ වෙතැ”යි තෙරණුවෝ කීහ. “ස්වාමීනි තවත් උපමාවක් දක්වනු මැනව”යි රජු කීය. “මහරජ, ජලය පිරි දෙගොඩතලා ගලා යන මහා ගංගාවකට ඉදිකටුවක් ඇල්ලුව හොත් එහි මලින් යන ජලය යම් සේ ඉතා මඳ වේ ද, ඉතිරි ජලයම බොහෝ වේ ද එමෙන් මා කී බුදුගුණ ඉතා මඳ වන්නේ ය. නොකී බුදුගුණ ම ඉතා බොහෝ වන්නේය”යි වදාළහ. “ස්වාමීනි, අනිකුදු උපමාවක් වදාළ මැනව”යි රජු කී ය. “මහරජ, අහසෙහි ක්‍රීඩා කරන වාතසකුණ නම් කුඩා පක්ෂි ජාතියක් ඇත. කිමෙක්ද මහරජ ඒ පක්ෂියකු අහසේ පියාසර කරන කල්හි උගේ පියාපත්වලට වැසෙන අහස වැඩි ද ඉතිරි අහස වැඩි දැ”යි තෙරුන් වහන්සේ වදාළහ. “ස්වාමිනී, කුමක් කියන සේක් ද? ඒ ලිහිණියාගේ පියාපත්වලට වැසෙන අහස ඉතා මඳ ය. නො වැසෙන අහස ම ඉතා බොහෝ වන්නේ ය”යි රජු කී ය. “මහරජ එමෙන් මා කී බුදුගුණ ඉතා මඳ ය, නො කී බුදුගුණ ම ඉතා බොහෝ ය. අනත්ත ය. අප්‍රමාණය”යි තෙරුන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, අනන්ත වූ බුද්ධගුණය අනන්තාකාශයට උපමා කිරීම ඉතා යහපත, මම ආර්‍ය්‍යයන් වහන්සේට ප්‍රසන්න වීමි. ආර්‍ය්‍යයන් වහන්සේට සුදුසු පූජාවක් කිරීමට මම නො සමත්මි. මාගේ මේ දුප්පත් පඬුර පිළිගන්නා සේක්වා මේ ලක්දිව සියයක් යොදුන් රජය ආර්‍ය්‍යයන් වහන්සේට දහම් පඬුරක් වශයෙන් පුදමි”යි රජු කීය. එකල්හි තෙරුන් වහන්සේ “මහරජ, ඔබතුමාගේ පැහැදීම නිසා කළ යුත්ත කෙළෙහි ය. අපට දුන් රජය අපි ඔබට ම නැවත දෙමු. දැහැමෙන් සෙමෙන් ඔබ ම මේ රජය කරන්නෙහිය”යි තෙරුන් වහන්සේ ඔහුට ම රජය ආපසු දුන්හ.

(මහාසච්චකසුත්තට්ඨකථාවෙන්)

7. ශාස්තෲ ගුණය

සත්ථා දේවමනුස්සානං

මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ දෘෂ්ටධාර්මිකාර්ථයෙන් ද, සාම්පරායිකාර්ථයෙන් ද, නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථයෙන් ද මනුෂ්‍ය-දේව-බ්‍රහ්මයන්ට අනුශාසනා කරන හෙයින් ලෝකයාට ශාස්තෲ වන සේක. ඒ ඒ අයට මෙලොව යහපත පිණිස හා පරලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සමත් තවත් බොහෝ අය ඇත්තාහ. බුදුන් වහන්සේ හැර නිර්වාණය පිණිස අනුශාසනය කිරීමට සමත් අනිකෙක් නැත්තේ ය. බුද්ධශ්‍රාවකයන් විසින් ද නිර්වාණය පිණිස අනුශාසනය කරන නමුදු ඒ අනුශාසනය ඔවුන්ගේ අනුශාසනයක් නොව බුදුන් වහන්සේගේම අනුශාසනය ය. බුදුන් වහන්සේ හැර නිවන පිණිස අනුශාසනය කරන අනිකකු නැතය යි කීයේ එහෙයිනි. නොයෙක් විට තථාගතයන් වහන්සේ ඒ ඒ අයට වර්ථමාන භාවයේ යහපත පිණිස හා පරලොව යහපත පිණිස අනුශාසනය කරතත් එය අප්‍රධාන කරුණෙකි. උන් වහන්සේගේ විශේෂ අනුශාසනය නිර්වාණය පිණිස කරන අනුශාසනය ය. ජාති-ජරා-ව්‍යාධි-මරණාදි දුඃඛ ස්කන්ධයෙන් මිදීම සඳහා කරන අනුශාසනය ය.

තථාගතයන් වහන්සේ විසින් නිවන් ලැබීම සඳහා කරන අනුශාසනය අසා එය අනුව පිළිවෙත් පුරා අසංඛ්‍ය ගණනක් මනුෂ්‍ය-දේව-බ්‍රහ්මයෝ නිවන් සුවය ලැබූහ. නිවන පිණිස කරන අනුශාසනය තථාගතයන් වහන්සේගේ උසස්ම ප්‍රාතිහාර්‍ය්‍යය ය. තථාගතයන් වහන්සේට හා ඇතැම් ශ්‍රාවකයන්ට නොයෙක් ප්‍රාතිහාර්‍ය්‍යය ඇති නමුත් තථාගතයන් වහන්සේ උසස් කොට සලකන්නේ අනුශාසන ප්‍රාතිහාර්‍ය්‍යය ය.

තථාගතයන් වහන්සේ නාලන්දාවෙහි පාවාරිකබ්බ වනයෙහි වැඩ වෙසෙන අවස්ථාවක කේවට්ට නම් ගෘහපති පුත්‍රයෙක් උන්වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, භග්‍යවතුන් වහන්ස, මේ නාලන්දා නුවර සමෘද්ධය, බොහෝ ජනයා ඇත්තේ ය. මෙහි මිනිසුන් භාග්‍යවතුන් වහන්සේ වහන්සේ කෙරෙහි ප්‍රසන්න වූවෝ ය. ඉදින් එක් භික්ෂුවක් සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය දැක්වීමෙහි යොදවන සේක් නම්, නාලන්දා වැසියෝ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වඩාත් පහදින්නාහ”යි සැළ කළේ ය. තථාගතයන් වහන්සේ “කේවට්ටය, මම ගිහියනට සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය දක්වන ලෙස භික්ෂූන් ට දහම් නො දෙසමි”යි වදාළහ. කේවට්ට ගෘහපතිපුත්‍ර දෙවනුව ද තථාගතයන් වහන්සේට එසේ සැල කෙළේය. එකල්හි ද තථාගතයන් වහන්සේ ද ප්‍රතික්ෂේප කල සේක. තෙවනුව ද කේවට්ට ගෘහපති පුත්‍රයා ඒ කාරණය සැල කෙළේ ය. එකල්හි ද තථාගතයන් වහන්සේ ඔහුට සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍යය - ආදේශන ප්‍රාතිහාර්‍ය්‍ය - අනුශාසන ප්‍රාතිහාර්‍ය්‍යය යන ප්‍රාතිහාර්‍ය්‍යය තුන විස්තර කරමින් දහම් දෙසූසේක.

ධ්‍යාන වඩා අභිඥා ලැබ එහි බලයෙන් බොහෝ දෙනකුන් වීම නොයෙක් වෙස් ගැනීම නොයෙක් රූපයන් මැවීම අහසින් යාම පොළොවෙහි මෙන් ජලයෙහි ද අහසෙහි ද ඉරියව් පැවැත්වීම යනාදිය කිරීම සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍යයය. යම් කිසි භික්ෂුවක් එසේ කරන කල්හි ඒවා දැක පැහැදුණු කෙනකු ඒ බව සස්නෙහි නො පැහැදුණු එකකුට කිව හොත් සමහර විට ඔහු “යහළුව, ඔබ කියන දේවල් කළ හැකි ගන්ධාරි නම් විද්‍යාවක් ඇත්තේ ය. ඔබ වර්ණනා කරන භික්ෂුව ගන්ධාරි විද්‍යාව දන්නා කෙනකු විය හැකිය”යි කියන්නේ ය. එයින් කලින් පැහැදුනවුන්ගේ පැහැදීමත් නැති විය හැකිය. එබැවින් තථාගතයන් වහන්සේ සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍යය කිරීම පිළිකුල් කරන්නා හ. එය කරන ලෙස ශ්‍රාවකයන්ට අනුශාසනය නො කරන්නාහ.

අන්‍යයන් සිතූ දෑ කල්පනා කළ දෑ ප්‍රකාශ කිරීම ආදේශන ප්‍රාතිහාර්‍ය්‍ය නම් වේ. පරසිත් දන්නා නුවණ ලබා දී ඇති භික්ෂූන්ට අනුන්ගේ සිත් අනුන්ගේ කල්පනා කිය හැකි ය. භික්ෂුවක් විසින් එසේ කරනු දැක පැහැදුණු කෙනෙකු බුදුසස්නෙහි නොපහන් අයකුට ඒ බව කියුව හොත් සමහර විට ඔහු විසින් “මණිකා” නම් විද්‍යාවක් ඇත. එය දත් අයට අනුන්ගේ සිත් කිය හැකිය. ඔබ වර්ණනා කරන භික්ෂුව ඒ විද්‍යාව උගත් අයකු විය හැකිය”යි කියනු ඇත. එයින් බුදු සස්නෙහි පහන් පුද්ගලයන්ගේ සිත් ද කලකිරෙන්නට පිලිවන. එබැවින් තථාගතයන් වහන්සේ ඒ ආදේශන ප්‍රාතිහාර්‍ය්‍ය ද පිළිකුල් කරන්නා හ. ඒ ප්‍රාතිහාර්‍ය්‍යය කිරීමෙහි ශ්‍රාවකයන් නො යොදවන්නා හ.

“මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නො කරව්, මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නො කරව්, මේවා දුරු කරව්, මේවා වඩව්, උපදවා ගනිව්”යි අනුශාසනය කිරීම අනුශාසන ප්‍රාතිහාර්‍ය්‍ය ය. තථාගතයන් වහන්සේ අනුශාසන ප්‍රාතිහාර්‍ය්‍යයෙන් ලෝකයට අනුශාසනය කරන සේක. අනුශාසනයේ ඇති ප්‍රාතිහාර්‍ය්‍ය නම්, එය අසා එය අනුව පිළිපදින්නවුන්ට මනුෂ්‍ය දිව්‍ය සම්පත් හා රූපාවචර අරූපාවචර ධ්‍යානයන් හා අභිඥා ද සතර මාර්ග සතරඵල නිර්වාණ යන ලෝකෝත්තර ධර්මයන් ද නොවරදවා ම ලැබිය හැකි බව ය. මෙයින් වර්ෂ දෙදහස් පන්සියයකට පෙර කරන ලද අනුශාසනයෙන් අදත් ලෝකයෙහි කෝටිසංඛ්‍යාත ජනකායක් බෞද්ධයන් වශයෙන් ජීවත් වෙති. එයම ද මහත් ප්‍රාතිහාර්‍ය්‍යයෙකි. ඇතැමෙක් තථාගතයන් වහන්සේගේ අනුශාසනාව අසා “ගිහි ව වෙසෙමින් මේ අනුශාසනය අනුව පිරිසිදු ලෙස සිල් රකිමින් ජීවත් විය නො හැකි ය. ගිහිගෙය සම්‍යක් ප්‍රතිපදාවට බොහෝ බාධක ඇති අවහිර තැනක කෙලෙස් රජස් නඟිනා තැනැකැ”යි අන් කිසිම කරුණකින් නො හරනා බෙහෝ ධනය ද, ජීවිතය නිසා ද හැරිය නො හෙන භාර්‍ය්‍යාවන් හා දූ දරුවන් ද, බොහෝ නෑ මිතුරන් ද හැර බුදුසස්නෙහි පැවිදි වෙති. එයම කෙතරම් ප්‍රාතිහාර්‍ය්‍යයක් ද? එසේ පැවිදිවූවන්ගෙන් බොහෝ දෙනෙක් ඇසූ ධර්මය අනුව පිළිවෙත් පුරා අර්හත්ඵලය නැමැති උත්තම ධර්මය ලබා දුකින් මිදී නිවනට පැමිණියෝ ය.

තථාගතයන් වහන්සේ ගේ අනුශාසනය අසා නො පැවිදිව ම මඟ පල ලැබූ දෙව්මිනිස්සු ද ඉතා බොහෝය. බුදුරදුන් පිරිනිවීමෙන් පසු ද උන් වහන්සේගේ අනුශාසනයන් අසා බොහෝ සත්ත්වයෝ මඟපල ලබා නිවන් දුටහ. අපමණ සත්ත්වයන් හට ජාතිජරාමරණාදි දුක් කෙළවර කරගත හැකි වන බව තථාගතයන් වහන්සේගේ අනුශාසනයෙහි ඇති ප්‍රාතිහාර්‍ය්‍යය ය. සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍යය දැක යමෙකු පැහැදුණ ද, එය ස්ථිර පැහැදීමක් නොවේ. තථාගතානුශාසනය අසා එය තේරුම් ගෙන යමෙක් ධර්මයෙහි නිසැක බවට පැමිණියේ නම්, ඔහුගේ බුදුසස්නෙහි පැහැදීම ස්ථීරය. එවැනි පුද්ගලයාගේ පැහැදීම ශක්‍රයා විසින් බ්‍රහ්මයා විසින් වුවද වෙනස් නො කළ හැකිය. ඒ බව ධනඤ්ජානි නම් බැමිණියගේ කථාවෙන් හා සුප්‍රබුද්ධ නම් දුගියාගේ කථාවෙන් පැහැදිලි ය.

ධනඤ්ජානි බැමිණියගේ කථාව

බුදුරදුන් දිවමන් කල්හි රජගහ නුවර භාරද්වාජ ගෝත්‍රයෙහි වූ බමුණකුගේ බිරියක් වන ධනඤ්ජානි නම් බැමිණියක් වූවා ය. ධනඤ්ජානි යනු උසස් බ්‍රාහ්මණ ගෝත්‍රයෙකි. “බ්‍රාහ්මණයෝ බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නෝ ය. ධනඤ්ජානි ගෝත්‍රයෙහි වූවෝ බ්‍රහ්මයාගේ හිස මුදුනෙන් උපන්නෝ ය” යනු ඔවුන්ගේ විශ්වාසය ය. ධනඤ්ජානි බැමිණි තථාගතයන් වහන්සේගේ අනුශාසනය අසා සෝවාන් ඵලයට පැමිණ බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයෙහි නොසෙල්වෙන පරිදි පැහැදුණු කාන්තාවකි. ඕ දිනක් සිය සැමියා වන භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාට බත් ගෙන යන්නී යම් කිසිවක සැපුණා ය. විපතේදී තමතමන් පිහිට කොට සලකන දේවතාවන් සිහි කිරීම ඔවුනට නමස්කාර කිරීම සිරිතකි. බුද්ධශ්‍රාවිකාවක් වූ ධනඤ්ජානි විපතේදී සිහි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ ය. පය සැපී වේදනා ඇති වූ අවස්ථාවෙහි ඕ බුදුරදුන් සිහි කළාය. එපමණකින්ම නො නැවතී වේළුවන විහාරය දෙසට හැරී ඇඳිලි බැඳ “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස”යි තෙවරක් කීවා ය. එය ඇසූ බමුණා කිපී “මේ වසලී කොහිවත් ඉන්නා මුඩුමහණකුට ගුණ කියමින් වඳින්නී ය”යි තමාගේ කෝපය ප්‍රකාශ කළේ ය. භාරද්වාජ බ්‍රාහ්මණයා බුද්ධ යන වචනය පවා අසනු නො කැමති තද මිසදිටුවෙකි. ඔහු විටින් විට බ්‍රාහ්මණ ධර්මය පරිදි පන්සියය බැගින් බමුණන් සිය නිවසට ගෙන්වා දන් දෙන්නේ ය. බැමිණිය ද විටින් විට බුදුපාමොක් මහසඟන සිය නිවසට වැඩම කරවා දන් දෙන්නේ ය. බැමිණිය තථාගතයන් වහන්සේ ගේ ධර්මය අසා මසුරුමල දුරුකළ තැනැත්තියකි. කාහට වුව ද දීම යහපත් බව ඕ දන්නී ය. එබැවින් සැමියා බමුණන්ට දන් දෙන දිනවල ඕ සියතින්ම ඔවුනට සංග්‍රහ කරන්නී ය. බුදුරදුන්ට හා සඟනට දන් දෙනු බලා සිටිය හැකි තරමට වත් හික්මීමක් බමුණාට නැති බැවින් බැමිණිය දන් දීමට සැරසෙන දිනවල බමුණා උදයෙන් ම ගෙයින් බැහැර යන්නේ ය.

දිනක් බමුණා දන් දීම සඳහා බමුණන් පන්සියයකට ආරාධනා කොට බැමිණියට කියනුයේ “සොඳුර සෙට මේ ගෙයි පන්සියයක් බමුණෝ වළදන්නාහ. තී වෙනදා මෙන් සෙටත් අර මුඩුමහණාට නමස්කාර කළ හොත් තිගේ ඒ ක්‍රියා දක්නා බමුණෝ මිසදිටු ගෙයකට අප කැඳවා ගෙන ආයේය යි අපට ද දොස් නඟා අපගේ දානය ද නො පිළිගෙන පෙරළා යන්නාහ. බ්‍රාහ්මණයන් අප හා නො බිඳව, තී කරන නමස්කාරය සෙට එක් දිනකට නවත්වව”යි බමුණා කී ය. “ඔබ බ්‍රාහ්මණයන් හා බිඳුණත් දෙවියන් හා බිඳුනත් මට නම් ඒ භාග්‍යවතුන් වහන්සේ සිහි වුවහොත් උන්වහන්සේට නමස්කාර නොකොට නො සිටිය හැකිය”යි බැමිණිය කීවා ය. “මිනිස්සු, තමන් අයත් විශාල ඉඩම් පවා සොර සතුරන් වළකනු පිණිස වැට බැඳ ආරක්ෂා කරති. ඇඟිලි දෙකකින් වසා ගත හැකි තිගේ කට හෙට බ්‍රාහ්මණයන් වළඳන ටික වේලාවට වසා ගත නො හැක්කේ මන් ද? යනාදීන් බමුණා නොයෙක් ලෙස කරුණු කී ය. එහෙත් බැමිණිය අවනත කර ගත නොහැකි විය. එකල්හි බමුණා කිපී කඩුවක් අතට ගෙන “සෙට බමුණන් පැමිණ ඉන්නා වේලෙහි මුඩු මහණට නමස්කාර කළෙහි නම්, මේ කඩුවෙන් හුණගොබයක් කපන්නාක් මෙන් පාදයන්හි පටන් හිස දක්වා තී කපා මස් ගොඩක් කරමි”යි තර්ජනය කෙළේ ය. එහෙත් බැමිණිය බිය නුවූවා ය. ආර්‍ය්‍යශ්‍රාවිකාවෝ මහපොළොව සේ මහමෙර සේ ස්ථිර අදහස් ඇත්තෝ ය. කිසිම බලයකින් වෙනස් කළ නොහැක්කෝ ය. එබැවින් ධණඤ්ජානී,

“සචෙ මෙ අංගමංගානි
කාමං ඡෙජ්ජසි බ්‍රාහ්මණ,
නෙවාහං චිරමිස්සාමි
බුද්ධසෙට්ඨස්ස සාසනා”

යනාදීන් ගාථා පන්සියයක් කීවා ය. එය ධනඤ්ජානිගර්ජිත නම් විය. බ්‍රාහ්මණයා බැමිණියට කිසිවක් කිරීමට අපෙහොසත් ව “තිගේ කැමැත්තක් කර ගනුව”යි කියා කඩුව යහන මත දැමී ය.

බමුණු තෙමේ පසු දින ගෙය සරසවා පන්සියයක් බමුණන්ට සෑහෙන පමණට අළුත් ගිතෙල් පැණි සකුරු වලින් යුක්ත කොට ක්ෂීරපායාසයක් පිළියෙළ කරවා බමුණන්හට කල් දන්වා යැවී ය. ධනඤ්ජානි බැමිණිය ද උදයෙන් ම සුවඳ පැණින් නා දහසක් අඟනා අලුත් වතක් හැඳ පන්සියයක් අගනා වතක් පොරවා සර්වාලංකාරයෙන් සැරසී රන්සැන්දක් ගෙන බමුණන්ට සංග්‍රහ කළා ය. ඒ අතර අනිසි ලෙස තුබූ භාණ්ඩයක ඇගේ පය සැපී ඈට බලවත් වේදනා ඇති විය. එකල්හි ඇයට භාග්‍යවතුන් වහන්සේ සිහි විය. ඕ අත තුබූ කෑම බඳුන බිම තබා වේළුවන විහාරය දෙසට හැරී දොහොත් නඟා වැඳ ගෙන “නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස”යි තෙවරක් කීවා ය. ඇගේ ක්‍රියාව පැමිණි සිටි බමුණන්හට හිසට පොල්ලකින් ගැසීමක් බදු විය. “අන්‍යලබ්ධිකයන් වෙසෙන ගෙවල් තමන්ට යාමට නුසුදුසු අපවිත්‍ර ස්ථානයෝ ය” යනු බමුණන්ගේ පිළිගැනීම ය. භාරද්වාජයා විසින් යාමට නුසුදුසු මිසදිටු ගෙයකට අපි පමුණුවන ලද්දෙමුයි කිපී පැමිණ සිටි බමුණෝ බත් තැටි එතන ම දමා කටට ගත් බත් ඉවත ලා කෙළ ගසමින් භාරද්වාජට ආක්‍රෝශ කරමින් පලා ගියෝ ය. බමුණා කිපී “මට මේ විපත නො කරන ලෙස ඊයේ පටන් කියා ද තිගේ කට නවත්වන්ට නො පිළිවන් විණැයි” බිරිඳට නොයෙක් ලෙසින් ආක්‍රොශ කොට දඬුවම් වශයෙන් ඇයට කිසිවක් කිරීමට නො සමත්ව “මේ විපත වූයේ ශ්‍රමණ ගෞතමයන් නිසාය”යි සිතා මම තිගේ ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් වදාරෝපණය කොට ඔහුටත් පාඩමක් උගන්වමි”යි කීය. එකල්හි බැමිණි “බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේට වදාරෝපණය කිරීමට සමතකු දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත සත්ත්වලෝකයෙහි නො දකිමි ය. බ්‍රාහ්මණය, ඔබ කැමති නම් එහි ගොස් බලන්නය”යි කීවා ය. බමුණා තථාගතයන් වහන්සේට නිග්‍රහ කිරීම පිණිස යන්නේ අතරමඟදී ම උභතෝකෝටික ප්‍රශ්ණයක් ගොතා ගත්තේ ය. ඔහු බුදුරදුන් වෙත ගොස් කෝපය සඟවා ගෙන පිළිසඳර කථා කොට ගොතා ගෙන ආ ප්‍රශ්නය විචාළේය. තථාගතයන් වහන්සේ කිසි පැකිළීමක් නැතිව එක පහරින් ම ඔහුගේ උභතෝකෝටික ප්‍රශ්නය විසඳා වදාළ සේක. ඔහුගේ කෝපය ද සන්සිඳිණ. එකල්හි තථාගතයන් වහන්සේ වැඩිදුරටත් ඔහුට දහම් දෙසූ සේක.

බ්‍රාහ්මණයාට ධර්මය අවබෝධ විය. ඔහු භාග්‍යවතුන් වහන්සේට පසසා තෙරුවන් සරණ ගොස් තථාගතයන්වහන්සේ සමීපයෙහි පැවිද්ද හා උපසම්පදාව ද ලබා නොබෝ කලකින් සව් කෙලෙසුන් නසා අර්හත්වයට ද පැමිණියේ ය.

(බ්‍රාහ්මණ සංයුත්තයෙන්)

සුප්‍රබුද්ධ දුගියාගේ කථාව

රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨරෝගියෙක් විය. කුෂ්ඨයෙන් විරූප වූ සිරුර ඇති ඔහු පරම දුගියෙකි. ගෙයක් පසා ගොස් අහර සිඟා ගෙන ජීවත් වන්නෙකි. මිනිසුන් ඉවත ලූ රෙදි කැබලි අවුලා එක්කොට මසා විලිවසා ගන්නෙකි.

එක් දවසක් තථාගතයන් වහන්සේ රජගහ නුවරට පිඬු පිණිස පිවිස එහිදීම වළඳා පෙරලා වඩනා සේක්, ඒ නගරය තුළ ම එක්තරා ස්ථානයක නැවතුණු සේක. බොහෝ භික්ෂුහූ ද උපාසකෝපාසිකාවෝ ද එතැන්හි රැස්වූහ. එහිදී තථාගතයන් වහන්සේ පැමිණි පිරිසට දහම් දෙසීමට පටන් ගත් සේක. එදින සුප්‍රබුද්ධ ද සාගින්නෙන් පෙළෙනුයේ අහරක් සපයා ගනු පිණිස වීථීයට බැස ඇවිදින්නේ දුරදීම ඒ මහාජන සන්නිපාතය දැක, “එහි ගිය හොත් අහරක් ලැබිය හැකි වෙතැ”යි සිතා ගොස් පිරිස මැද දහම් දෙසමින් වැඩ සිටිනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. සුප්‍රබුද්ධ අතීතයෙහි කළ පාපකර්මයක විපාකාවශේෂයෙන් ජනයා විසින් පිළිකුල් කරන කුෂ්ඨරෝගියකු වුව ද පෙර කළ පින් ද ඇතියෙකි. පෙර පිනෙන් මෙහෙයනු ලැබූ සුප්‍රබුද්ධ බඩගිනි ඇත ද ඔහුගේ සිත තථාගතයන් වහන්සේ දෙසන ධර්මය ඇසීමෙහි නැමිණ. “මෙපමණ ජනයා රැස්ව අසන මේ ධර්මය ඇසීම මට ද හොඳය”යි සිතා ඔහු පිරිස් කෙළවර වාඩි වී තථාගතයන් වහන්සේගේ දේශනයට කන් දුන්නේ ය. දහම් ඇසීමට පැමිණ ඇති පිරිසෙහි ධර්මාවබෝධය කර ගැනීමට සමත් මඟපල ලැබීමේ භාග්‍යය ඇති පුද්ගලයෝ කවුරහුදැයි බලන්නා වූ භාග්‍යවතුන් වහන්සේට පසින් යට වී ඇති රන් කාසියක් සේ සුප්‍රබුද්ධගේ හෘදයෙහි දිලිසෙන මඟපල ලැබීමේ භාග්‍ය පෙනිණ. උන් වහන්සේ එදා සුප්‍රබුද්ධ ආරක්ෂා කොට ඔහුට සුදුසු පරිදි දහම් දෙසූ සේක. දහමට ඇහුම්කම් දීගෙන සිටියා වූ සුප්‍රබුද්ධට චතුස්සත්‍යය අවබෝධ විය. ඔහු එතැනදී ම සෝවාන් ඵලයට පැමිණියේ ය. තමා ලැබූ ධර්මාවබෝධයෙන් පරම ප්‍රීතියට පත් සුප්‍රබුද්ධට දහම් ඇසීමෙන් තමා ලත් ඵලය තථාගතයන් වහන්සේට සැල කරන්නට සිතුණේ ය. එහෙත් සැම දෙනා විසින් පිළිකුල් කරනු ලබන ඔහු පිරිස අතරින් තථාගතයන් වහන්සේ ඉදිරියට යාමට අපොහොසත් විය. ඔහු තථාගතයන් වහන්සේ විහාරයට වැඩම කළ පසු තමා ලත් ගුණය උන්වහන්සේට සැල කරනු පිණිස එහි ගියේ ය.

එකල්හි ශක්‍රදේවේන්ද්‍ර තෙමේ සුප්‍රබුද්ධ කරන්නට යන දෙය දැන ඔහුගේ තතු විමසමි යි එහි ගොස් අහසේ සිට “සුප්‍රබුද්ධ, නුඹ මහ දුගියෙකි. නුඹට මම අපරිමිත ධනස්කන්ධයක් දෙන්නෙමි, නුඹ බුදුහු බුදු නො වෙති යි ද, ධර්මය ධර්මයක් නො වේය යයි ද, සංඝයා සංඝයා නො වෙති යි ද, බුදුන්ගේ ධර්මයෙන් සංඝයාගෙන් වැඩක් නැතය යි ද ජනයාට කියවය”යි කීය. සුප්‍රබුද්ධ “ඔබ කවරෙහි දැ”යි ඇසීය. ශක්‍රතෙමේ “මම සක්දෙව් රජය”යි කීය. එකල්හි සුප්‍රබුද්ධ කියනුයේ “නො කිය යුත්තක් කියන්නා වූ අන්ධබාල ඔබ මා හා කථා කිරීමට නුසුදුස්සෙහි, භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍රයකු වන මම ඔබ කියන පරිදි දුගියෙක් නො වෙමි. මම පරම සුඛයට පැමිණ සිටින්නෙමි. ආර්‍ය්‍යධනයෙන් ධනවත් වෙමි”යි කීය. මෙසේ ශක්‍රයා විසින් දෙන්නට කථා කරන අපරිමිත ධනස්කන්ධය ගැන කිසිදු තැකීමක් නො කොට සුප්‍රබුද්ධ බුදුරජුන් වෙත ගොස් තමා ලත් ගුණය උන් වහන්සේට සැල කෙළේ ය. තථාගතානුශාසනය ඇසීමෙන් සුප්‍රබුද්ධට ඇති වූ ප්‍රසාදය නැති කිරීමට ශක්‍රයාට ද නුපුළුවන් වූයේ අනුශාසනය ඇසීමෙන් නො වෙනස් වන ප්‍රසාදයක් ඇති වන බැවිනි. තථාගතයන් වහන්සේ විසින් භික්ෂූන්ට ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය දැක්වීම තහනම් කොට අනුශාසන ප්‍රාතිහාර්‍ය්‍යය පමණක් අනු දැන වදාරා ඇත්තේ එය ම උසස් ප්‍රාතිහාර්‍ය්‍යය වන බැවිනි. බුදුරදුන්ට තමා ලත් ගුණය සැල කොට ගියා වූ සුප්‍රබුද්ධ එදින ම පැටවකු ඇති ගවදෙනක විසින් අණිනු ලැබ කළුරිය කොට දෙව්ලොව උපන්නේ ය. සෝවාන් වීමට තරම් පින් ඇත්තා වූ සුප්‍රබුද්ධ කුෂ්ඨරෝගියකු හා දුගියකු වූයේ අතීතයෙහි සිටු පුත්‍රයෙක් ව සිටිය දී තගරසිඛී නම් පසේ බුදුන් වහන්සේට කුෂ්ඨරෝගියෙකැයි ආක්‍රෝශ කිරීමේ පාපයෙනි.

(උදානයෙන්)

බුද්ධානුශාසනය,

තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන පුද්ගලයන්ගේ සිත් බලා අදහස් බලා චරිත බලා ඒ ඒ පුද්ගලයන්ට සුදුසු පරිදි අනේකාකාරයෙන් අනුශාසනා කරන සේක. මෙලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට මෙලොව යහපත පිණිස අනුශාසනය කරන්නාහ. පරලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුසු පුද්ගලයන්ට පරලොව යහපත පිණිස අනුශාසනය කරන්නාහ. දෙලොව ම වැඩ පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට දෙලොවට ම වැඩ පිණිස අනුශාසනය කරන්නාහ. මඟපල ලබා නිවන් ලැබීමේ භාග්‍යය ඇතියවුන්ට ඒ පිණිස අනුශාසනය කරන්නාහ. මඟපල ලැබීමට සුදුසු පුද්ගලයන්ට එය සඳහා තථාගතයන් වහන්සේ ආනුපුබ්බිකථාවෙන් අනුශාසනා කරන සේක. එය තථාගතයන් වහන්සේගේ එක් ධර්මදේශනා ක්‍රමයෙකි. තමන් වෙත පැමිණි පුද්ගලයන්ට, දානය සත්ත්වයන්ට උතුම් පිහිටෙක, සකල සම්පත් ලැබීමට හේතුවක, ස්වර්ගයට යාමට හිණෙක, දානය දුකින් පෙළෙන සත්ත්වයන්ට පරම ප්‍රතිෂ්ඨාවෙක යනාදීන් දානකථාවෙන් පළමු කොට අනුශාසනය කරන සේක. අනතුරුව, මේ ශීලය සැප ලැබීමේ පරම හේතුවක, ශීලයෙන් සත්ත්වයෝ ස්වර්ගයට යන්නාහ, ශීලය සසර සැරිසරන සත්ත්වයනට ආරක්ෂාවෙක යනාදීන් ශීලකථාවෙන් අනුශාසනය කරන සේක. අනතුරුව දානයෙන් ශීලයෙන් පැමිණිය හැකි ස්වර්ගය මේ මේ සම්පත්වලින් යුක්තය”යි ස්වර්ගකථාවෙන් අනුශාසනය කරන්නා හ. දිව්‍යසම්පත්තිය ගැන ඇසූ පුද්ගලයාගේ සිත එයට ඇදී යයි. තමා ලබා ඇති තමා උසස් කොට සලකා ගෙන සිටින මනුෂ්‍යසම්පත්තිය පිළිබඳ වූ ඔහුගේ තණ්හාව තුනී වෙයි. ඉක්බිති තථාගතයන් වහන්සේ දිව්‍යසම්පත්තියේ ද අස්ථිරතාව දක්වා කාමයන් නිසා සත්ත්වයනට බොහෝ දුක් ඇතිවීම ආදි කාමයන්ගේ දොස් ද, කාමයන්ගේ ලාමක බවද, කාමයන් නිසා සත්ත්වයන් කිලිටි වන බව ද, සසර දික් වන බව ද, කාමයන් හී ඇලී ඉන්නා සත්ත්වයන්හට නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණාදි දුක් ලැබෙන බව ද දක්වා අනුශාසනය කරන්නාහ. ඒ අනුශාසනය ඇසීමෙන් කාමයන් කෙරෙහි කලකිරී කාම තණ්හාව තුනී වී සිත බොහෝ දුරට පිරිසිදු වී ඇති පුද්ගලයන්ට තථාගතයන් වහන්සේ නෛෂ්කාම්‍යයේ (කාමයන්ගෙන් බැහැර වීමේ කාමයන් අතහැරිමේ) අනුසස් දක්වමින් අනුශාසනා කරන්නාහ. එය අසන්නහුගේ සිත බොහෝ දුරට කෙලෙසුන්ගෙන් පිරිසිදුව නෛෂ්කාම්‍යයට නැමෙන්නේ ය. එසේ පිළිවෙලින් කරන අනුශාසනය අසන්නහුගේ සිත ක්‍රමයෙන් පිරිසිදු වී චතුස්සත්‍ය ධර්මය අවබෝධ කර ගත හැකි තත්වයට සකස් වූ බව පෙනුණු කල්හි තථාගතයන් වහන්සේ ඔහුට දුඃඛ-සමුදය-නිරෝධ-මාර්ගසංඛ්‍යාත චතුස්සත්‍යයන් දක්වමින් අනුශාසනය කරන සේක. එය ඇසීමෙන් ඇතැම්හු එතැනදී ම මාර්ගඵලවලට පැමිණ නිවන් දක්නාහ. ඇතැම්හු “තථාගතයන් වහන්සේ විසින් වදාළ ශ්‍රේෂ්ඨ චර්‍ය්‍යාව ගිහිව සිට සම්පූර්ණ කිරීම දුෂ්කර ය”යි සලකා උන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ලබා මහණදම් පුරා සව්කෙලෙසුන් නසා රහත් ව දුක් කෙළවර කරන්නාහ.

තථාගතයන් වහන්සේගේ අනුශාසනය අසා පැවිදි බවට පත්වූවකුට ඒ අනුශාසනය අනුව පිළිපැදීමෙන් කෙටි කලකින් අර්හත් ඵල සංඛ්‍යාත බ්‍රහ්මචර්‍ය්‍යාවසානයට පැමිණ සියලු දුක් කෙළවර කර පරමසන්තුෂ්ටියට පැමිණිය හැකි බව-

“අහං ඛො නිග්‍රොධ එවං වදාමි, එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති සත්තවස්සානි තිට්ඨතු නිග්‍රොධ සත්තවස්සානි, එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති, ඡ වස්සානි, පඤ්ච වස්සානි, චත්තාරි වස්සානි, තීණි වස්සානි, ද්වෙ වස්සානි, එකං වස්සං, තිට්ඨතු නිග්‍රොධ එකං වස්සං, එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරස්සති, සත්ත මාසානි, තිට්ඨතු නිග්‍රොධ සත්ත මාසානි, ඡ මාසානි, පඤ්ච මාසානි, චත්තාරි මාසානි, තීණි මාසානි, ද්වෙ මාසානි, එකං මාසං, අද්ධ මාසං, තිට්ඨතු නිග්‍රොධ අද්ධමාසො, එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො. අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති සත්තාහං,”

(දී.නි. උදුම්බරික සුත්ත)

යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ අනුශාසනය පරිදි පිළිපදින්නවුන්ට සතියේ පටන් හත්වස දක්වා ඇති කාලවලින් අර්හත්වයට පැමිණ ශ්‍රමණකෘත්‍යය අවසන් කළ හැකි බව වදාරා ඇත්තේ ය. තථාගතානුශාසනය පරිදි පිළිපදින්නවුන්ට අර්හත්වයට පැමිණීමේ කාලය අඩු වැඩි වන්නේ ඔවුන්ගේ පෙර පින, නුවණ, වීර්‍ය්‍යය යන මේවා අනුව ය. පෙර පින් වැඩි නුවණ වැඩි වීර්‍ය්‍යය වැඩි තැනැත්තාට ඉක්මනින් රහත් විය හැකිය, ඒවා අඩු අඩු තරමට කාලය දික්වේ.

මඟපල ලබා දුක් කෙළවර කර ගැනීමට අනුශාසනය කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ තීර්ථකයන්ගේ ධර්මය ද ඔවුන් දන්නවාට වඩා හොඳින් දන්නා සේක. බ්‍රාහ්මණයන්ගේ ධර්මය ද බ්‍රාහ්මණයන් දන්නවාට වඩා හොඳින් දන්නා සේක. උන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මයෙන් කරන අනුශාසනයෙන් ප්‍රයෝජනය ලැබීමට නො නිසි ඒ ධර්මය අවබෝධ කිරීමට තරම් නුවණ නැති තීර්ථකයන්ට ඔවුන්ගේ ධර්මයෙන් ද අනුශාසනා කරන්නාහ. ඔවුන්ගේ ධර්මය නිරවුල් කර පිරිසිදු කර දෙන්නාහ. චතුස්සත්‍ය ධර්මය තේරුම් ගැනීමට තරමට මුහුකුරා ගිය නුවණ නැති බමුණන්ට ද සමහර විට ඔවුන්ගේ ධර්මයෙන් හෝ ප්‍රයෝජනයක් ලබත්වා යි බ්‍රාහ්මණ ධර්මයෙන් ම ද අනුශාසනා කරන්නාහ.

න්‍යග්‍රෝධ පරිව්‍රාජක තැනගේ කථාව

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන සේක. එකල්හි උදුම්බරික නම් පිරිවැජි අරමෙහි තුන්සියයක් පමණ පිරිවැජි පිරිසට නායක වූ න්‍යග්‍රෝධ නම් පරිව්‍රාජකයෙක් විය. එක් දිනක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයකු වන සන්ධාන නම් අනාගාමී උපාසකතුමා බුදුරදුන් දක්නා අදහසින් රජගහ නුවරින් නික්ම යන්නේ “මේ තථාගතයන් වහන්සේ වෙත යාමට කාලය නොවේ ය”යි සිතා ඖදුම්බරික පරිව්‍රාජකාරාමයේ න්‍යග්‍රෝධ පරිව්‍රාජකයා වෙත ගියේය. එකල්හි න්‍යග්‍රෝධ පරිව්‍රාජක තෙමේ තිරශ්චීත කථාවෙන් මහත් ඝෝෂාවක් කර පිරිවැජි පිරිසක් හා හුන්නේය. න්‍යග්‍රෝධ පරිව්‍රාජක තෙමේ සන්ධාන ගෘහපතිතුමා දුරදී ම දැක හැඳින “ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන් විවේකයට කැමැත්තෝ ය, ගෝට්ටියට නො කැමැත්තෝ ය. මේ පිරිස සන්සුන් වුවහොත් සන්ධාන ගෘහපති මෙහි පැමිණෙන්නට සිතනු ඇතැයි” පිරිසට කියා, පිරිස සන්සුන් කෙළේ ය. සන්ධාන ගෘහපති න්‍යග්‍රෝධ පරිව්‍රාජක වෙත ගොස් පිළිසඳර කථා කොට “මේ අන්‍ය තීර්ථක පරිව්‍රාජකයෝ මහහඬින් අනේකවිධ තිරශ්චීන කථා කරමින් කල් ගෙවන්නාහ. අප භාග්‍යවතුන් වනාහි ආරණ්‍යාදි නිශ්ශබ්ද විවේකස්ථානයන් භජනය කරන්නාහ. තීර්ථකයන්ගේ ප්‍රතිපත්තිය අන් ආකාර වන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිපත්තිය අන් ආකාර වන්නේය”යි කී ය. මේ ගෘහපතියා අප ගණන් නො ගෙන අප ඉදිරියේ ද ඔහුගේ ශාස්තෲවරයාටම පසසන්නේය යි කිපී, “ගෘහපතිය ඔබ පසසන ශ්‍රමණ ගෞතම හා කථා කිරීමට කවරකුට කිනම් කරුණක් ඇත්තේ ද? ඔහු හා කථා කරන්නට දෙයක් නැත. කථා කරන්නට කරුණක් නැති කල්හි කථාවට යන කෙනෙකු නැති කල්හි ශ්‍රමණ ගෞතම තෙමේ කවරකු හා කුමක් කථා කරන්නේ ද? කථාවට සමත් බවක් ශ්‍රමණ ගෞතමට නැත. ඔහුට තුබූ නුවණ ද ශුන්‍යාගාරවල විසීමෙන් මොට වී ඇත්තේ ය. ඔහු පිරිස හා හැසිරීමට නො සමත් ය. පිරිස් මැදට පැමිණ කථා කිරීමට නො සමත් බැවින් ඔහු ඇසක් අන්ධ වූ ගවයකු මෙන් අයින් වී ඉන්නේ ය. ජන ශුන්‍ය ස්ථානයන් සේවනය කරන්නේ ය. ශ්‍රමණ ගෞතම මෙහි පැමිණිය හොත් අපි එක් ප්‍රශ්ණයකින් ම ඔහු නිහඬ කරන්නෙමු ය. හිස් සැළියක් ලණුවලින් වෙළන්නාක් මෙන් ප්‍රශ්න වලින් ඔහු වෙළන්නෙමුය”යි කී ය. සන්ධාන ගෘහපතියා හා න්‍යග්‍රෝධ පරිව්‍රාජකයා අතර කෙරෙන මේ කථාව තථාගතයන් වහන්සේ දිව්‍යශ්‍රෝත්‍ර ධාතුවෙන් ඇසූ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ ගිජුකළු පව්වෙන් බැස සුමාගධා නම් පොකුණු තෙරට පැමිණ සක්මන් කළ සේක. න්‍යග්‍රෝධ පරිව්‍රාජක සක්මන් කරන්නා වූ තථාගතයන් වහන්සේ දැක, සිය පිරිස අමතා, “ආයුෂ්මත්නි, නිශ්ශබ්ද වව්, ශ්‍රමණ ගෞතම සුමාගධා තීරයේ සක්මන් කරයි, ඒ අයුෂ්මතා නිශ්ශබ්දතාවයට කැමැත්තේ ය, නිශ්ශබ්දතාවයෙහි ගුණ කියන්නේ ය, සමහර විට ඔහු නිශ්ශබ්ද වන පිරිස දැක මෙහි පැමිණෙන්නට ද සිතන්නේ ය. ඉදින් ශ්‍රමණ ගෞතම මෙහි පැමිණියේ නම් භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නා වූ ධර්මය කවරේ ද? නුඹ වහන්සේගේ ශ්‍රාවකයන් අර්හත්වයට පැමිණ සැනසිල්ල ලබා සිටින්නා වූ ධර්මය කවරේ දැ යි අපි ඔහුගෙන් අසමුය”යි කීය. එසේ කී කල්හි පිරිවැජි පිරිස සන්සුන් වූහ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ න්‍යග්‍රෝධ පරිව්‍රාජකයා වෙත වැඩම කළ සේක. පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගොස් “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, වඩිනු මැනවි, බොහෝ කලකින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක. ස්වාමීනි, මේ අසුනෙහි වැඩ හිඳිනු මැනව”යි කීය. තථාගතයන් වහන්සේ අසුනෙහි වැඩ සිටි සේක. න්‍යග්‍රෝධ පිරිවැජියා ද එක්තරා නීචාසනයක හිඳගත්තේ ය.

ඉක්බිති තථාගතයන් වහන්සේ “න්‍යග්‍රෝධ, ආයුෂ්මත්හු මෙහි කිනම් කථාවක යෙදී හුන්නෝද? ඔබගේ නො නිමි කථාව කවරේ දැ”යි වදාළහ. එකල්හි න්‍යග්‍රෝධ පරිව්‍රාජක “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපි නුඹ වහන්සේ සුමගධා තීරයේ සක්මන් කරනු දැක නුඹ වහන්සේ මෙහි පැමිණිය හොත් නුඹ වහන්සේ විසින් ශ්‍රාවකයන් හික්මවන ආකාරය, ඔවුන්ට දේශනය කරන ධර්මය විචාරන්නට කථා කරමින් සිටියමු”යි කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක්, “න්‍යග්‍රෝධය, අන්‍ය දෘෂ්ටියක් ඇත්තා වූ අන්‍යය ධර්මයක් පිළිගන්නා වූ අන්‍ය ධර්මයක් කැමැති වන්නා වූ අන්‍ය ධර්මයක යෙදෙන්නා වූ අන්‍ය ආචාර්‍ය්‍ය වරයකු ඇත්තා වූ ඔබට මා ශ්‍රාවකයන් විනයනය කරන ධර්මය තේරුම් ගැනීමට දුෂ්කර ය. ස්වීය ආචාර්‍ය්‍ය පරම්පරාවෙන් එන්නා වූ තපෝජුගුප්සා නම් වූ ධර්ම ක්‍රමය ගැන විචාරව, කෙසේ වනාහි තපෝජුගුප්සාව සම්පූර්ණ වේ ද, කෙසේ සම්පූර්ණ නොවේදැයි විචාරව”යි වදාළ සේක. තීර්ථකයන් තපෝජුගුප්සා යන නාමය ව්‍යවහාර කරන්නේ තපසින් පව් දුරු කිරීමට ය. පීඩා විඳ පරණ පව් ගෙවා දැමීමෙන් හා අලුත් පව් නො කර හැරීමෙන් දුකින් මිදීමක් ඔවුහු බලාපොරොත්තු වෙති. න්‍යග්‍රෝධ පරිව්‍රාජකයාට හා ඔහුගේ පිරිසට ඒ ධර්මය ගැන ද තුබුණේ මඳ දැනුමකි.

තථාගතයන් වහන්සේ විසින් න්‍යග්‍රෝධ පරිව්‍රාජකයා හට ඔහුගේ ධර්මය ගැනම අසන්නය යි වදාළ කල්හි “පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ මහානුභාව ඇත්තෝ ය, පුදුම කෙනෙක, එතුමෝ ස්වීය ධර්මය තබා අනුන්ගේ ධර්මය ගැන ප්‍රශ්න අසන්නට කියන්නාහ”යි සෙසු පිරිවැජියෝ හඬ නඟන්නට වන්හ. න්‍යග්‍රෝධ පරිව්‍රාජක පිරිස සන්සුන් කරවා තපෝජුගුප්සාව සම්පූර්ණ වන නොවන ආකාරය තථාගතයන් වහන්සේගෙන් ඇසුවේය. පරිව්‍රාජකයාගේ ප්‍රතිපත්ති පිරීමෙන් ලැබිය හැකි උසස් ම දෙය දිව්‍යංචක්ෂුරභිඥානය ය. තථාතයන් වහන්සේ දිවැස ලැබීම දක්වා පැවැත්විය යුතු පරිව්‍රාජක ප්‍රතිපත්තිය නිරවුල් කොට වදාළ සේක. ඒ පිරිසෙහි දිවැස ලැබුවෙකු තබා එතෙක් ප්‍රතිපත්තික්‍රමය අසා ඇතියකුදු නො වී ය. එබැවින් නැවත ද පිරිවැජියෝ “අපි මේ කරුණෙන් නටුවෝ වෙමු”යි ඝෝෂා කළහ.

එහිදී සන්ධාන ගෘහපති න්‍යග්‍රෝධ පරිව්‍රාජක විසින් තථාගතයන් වහන්සේට අපහාස කරමින් කලින් කළ සිංහනාදය මතු කළේ ය. පිරිවැජි ඉමහත් ලැජ්ජාවට පැමිණ තථාගතයන් වහන්සේ ක්ෂමා කර ගත්තේ ය.

(දී.නි. උදුම්බරික සුත්ත)

සූත්‍රනිපාතයෙහි බ්‍රාහ්මණධාර්මික සූත්‍රය තථාගතයන් වහන්සේ විසින් ඒ බ්‍රාහ්මණයන්ට පෞරාණික බ්‍රාහ්මණ ධර්මය දක්වා වදාළ සූත්‍රයකි. තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන අවස්ථාවක කොසොල් රට වැසි වෘද්ධ වූ මහාසාළ බ්‍රාහ්මණ සමූහයක් බුදුරදුන් දක්නට ගොස් දැනට වෙසෙන බ්‍රාහ්මණයන් කෙරෙහි පෞරාණික බ්‍රාහ්මණධර්මය ඇතිදැ යි අසා තථාගතයන් වහන්සේ විසින් ඒ පෞරාණික බ්‍රාහ්මණධර්මය වර්තමානික බ්‍රාහ්මණයන් කෙරෙහි දක්නට නැති බව වදාළ කල්හි පෞරාණික බ්‍රාහ්මණධර්මය වදාරන ලෙස ආරාධනා කළෝ ය. එකල්හි ඔවුන්ට තථාගතයන් වහන්සේ,

“ඉසයො පුබ්බකො ආසුං - සඤ්ඤතත්තා තපස්සිනො,
පඤ්චකාමගුණෙ හිත්වා - අත්තදත්ථමචාරිසුං”

යනාදී ගාථා දෙතිසකින් යුක්ත වූ බ්‍රාහ්මණධාර්මික සූත්‍රය වදාළ සේක.

නො වරදින අනුශාසනය

වර්තමාන භවයේදී නොවරදවා ම මඟපල ලැබෙන පරිද්දෙන් අනිකකුට අනුශාසනය කළ හැකි වීමට නම් අනුශාසකයා හට ඉමහත් නුවණක් තිබිය යුතු ය. අනුශාසනය ලබන්නහුට ඒ ජාතියේදී ම මඟපල ලැබීමට නිසි පෙර පින් ඇති - නැති බව දත හැකි නුවණ තිබිය යුතු ය. අනුශාසනය ලබන්නා ත්‍රිහේතුක පුද්ගලයෙක් ද නැතිදැ යි දත හැකි නුවණ තිබිය යුතු ය. අනුශාසනය කරනු ලබන්නාගේ නුවණ මඟපල ලැබීමට සුදුසු වන තරමට දියුණු වී ඇත ද නැතදැ යි දත හැකි නුවණ තිබිය යුතු ය. අනුශාසනය ලබන්නහුට මඟපල ලැබීමට බාධක කර්මක්ලේශයන් ඇති නැති බව දත හැකි නුවණ තිබිය යුතු ය. අනුශාසනය කරනු ලබන්නාගේ චරිතය දත හැකි නුවණ තිබිය යුතු ය. ඒ ඒ පුද්ගලයාට සුදුසු කමටහන් තෝරා ගත හැකි නුවණ තිබිය යුතු ය. සුදුසු ස්ථානය තෝරාගත හැකි නුවණ තිබිය යුතු ය. මේ අංගවලින් සම්පූර්ණ එකම අනුශාසකයා තථාගතයන් වහන්සේ ය.

අනුශාසනය කරනු ලබන්නහුගේ පෙර පින් ඇති නැති බව යනාදී කරුණු සර්වාකාරයෙන් දැන ගැනීමට නො සමත් බැවින් රහත්හු ද නොවරදින ලෙස අනුශාසනා කිරීමට සමත් නො වෙති. නොයෙක් විට රහතුන්ටද වරදින්නේ ය. රහත්වීමට පමණක් නොව ශ්‍රාවකයන් අතරින් දෙකරුණකින් අගතැන් ලැබීමට ද නිසි පින් තිබුණු චූලපන්ථක භික්ෂුව අභව්‍ය පුද්ගලයකු වන්නට ඇතැයි සිතා ඔබට මේ සසුනෙන් ගත හැකි වැඩක් නැත, සිවුරු හැර ගෙදරට ම යන්නට කියා එක් රහතන් වහන්සේ නමක් විසින් නෙරපා හරින ලද්දේ රහතුන් ද පුද්ගලයන්ගේ තතු හරියට ම දැන ගැනීමට සමත් නො වන නිසා ය. පුද්ගලයන්ගේ තතු දැනීමට සමත් නුවණ ඇති භාග්‍යවතුන් වහන්සේට, සසුනෙන් නෙරපනු ලැබූ චූලපන්ථක එක් වරුවකින්ම අර්හත්වයට පමුණුවා සෘද්ධිමත් පුද්ගලයකු කළ හැකි විය. එබැවින් තථාගතයන් වහන්සේ ම ලෝකයෙහි නියම ශාස්තෲවරයා වන සේක. චූලපන්ථක තෙරුන් වහන්සේගේ කථාව මෙහි අන් තැනක දක්වා ඇත්තේ ය.

ස්වර්ණකාර තෙරුන් වහන්සේ

එක්තරා ස්වර්ණකාර පුත්‍රයෙක් සැරියුත් මහ තෙරුන් වහන්සේ වෙත පැවිදි විය. තෙරුන් වහන්සේ තරුණයන්ට රාගය උත්සන්න භාවය සලකා ඔහුට අශුභකර්මස්ථානය දුන්හ. එහෙත් ඒ කමටහණ ඔහුට සුදුසු නො වී ය. කමටහණ ගෙන ආරණ්‍යයට පිවිස තෙමසක් වීර්‍ය්‍ය කළ නමුත් ඔහුට සිතෙහි එකඟ බවක් පමණකුදු ඇති නො වී ය. ඔහු නැවත තෙරුන් වහන්සේ වෙත පැමිණ ඒ බව දැන්වී ය. තෙරුන් වහන්සේ “මෙ පමණකින් පසුබට වන්නට යුතු නැත ය”යි වදාරා නැවත ද ඒ කමටහණ ම වඩාත් හොඳට පැහැදිලි කොට කියා දුන්හ. දෙවන වරද වනයට වැද වීර්‍ය්‍ය කළ මුත් කිසි අමුත්තක් සිදු නො වී ය. ඔහු නැවත ද තෙරුන් වහන්සේ වෙත පැමිණ ඒ බව කී ය. එකල්හි තෙරුන් වහන්සේ කරුණු සහිත ව උපමා සහිත ව ඒ කමටහණ තවත් හොඳින් විස්තර කර කියාදී ඔහු යැවූහ. තුන්වන වරද වනයට පිවිස වීර්‍ය්‍ය කළ මුත් ශිෂ්‍ය භික්ෂුවට අමුතු දියුණුවක් නො වී ය. ඔහු පැමිණ තමාට කමටහණින් වැඩ නො වූ බව තෙරුන් වහන්සේට දැන්වීය. එකල්හි තෙරුන් වහන්සේ ශිෂ්‍යයා බුදුරදුන් වෙත කැඳවා ගෙන ගොස් තථාගතයන් වහන්සේට කාරණය දැන්වූහ. එකල්හි තථාගතයන් වහන්සේ ඔහුගේ චරිතය බලා වදාරන සේක්, පිළිවෙලින් පන්සිය වාරයක් ම ඔහු ස්වර්ණාකාර කුලයෙහි ඉපිද රත්රන් වලින් ම කර්මාන්ත කළ බව දැක ඔහුගේ සිත මනාප වූ කර්මස්ථානයක මිස අශුභ කර්මස්ථානයක එකඟ කළ හැකි නොවන බව වදාරා “ශාරිපුත්‍රය, නුඹ කමටහන් දී සාර මසක් වෙහෙසට පත්කළ භික්ෂුව අද මම එක වරුවකින් ම අර්හත්වයට පමුණුවන්නෙමි ය”යි වදාරා තෙරුන් වහන්සේ පිටත් කර රියසකක් පමණ නෙළුම් මලක් මවා පෙතිවලින් හා නටුවෙන් දිය බින්ඳු ගලන්නක් කොට භික්ෂුවට දී “මහණ මෙය, ගෙන ගොස් ආරාමයේ කෙළවරක වැලි ගොඩක් මත සිටුවා වාඩි වී එය බලා රතය, රතය කියා භාවනා කරන්නය”යි වදාළහ. ශෝභන වූ ඒ අරමුණෙහි තරුණ භික්ෂුවගේ සිත එකඟ විය. ඔහු ඒ ආරම්මණයෙන් රූපාවචර ධ්‍යාන සතර ම උපදවා ධ්‍යාන ක්‍රීඩාවෙන් වෙසෙන කල්හි තථාගතයන් වහන්සේ අධිෂ්ඨාන බලයෙන් ඒ පද්මය මලානික කළහ. භික්ෂුවට එය අනුව සංස්කාරයන්ගේ අනිත්‍යතාව වැටහිණ. ඒ බව දැන තථාගතයන් වහන්සේ ඒ භික්ෂුව ඉදිරියේ පෙනී සිට,

“උච්ඡින්ද සිනෙහමත්තනො
කුමුදං සාරදිකංව පාණිනො
සන්තිමග්ගමෙව බ්‍රෑහය
නිබ්බානං සුගතෙන දෙසිතං”

යන ගාථාව වදාළ සේක. දේශනාවසානයේ භික්ෂු තෙමේ සව් කෙලෙසුන් නසා අර්හත්ඵලයෙහි පිහිටියේ ය. බුද්ධශ්‍රාවකයන් අතුරෙන් ප්‍රඥාවෙන් අගතැන්පත් සැරියුත් හිමියන්ට සාරමසකිනිදු සමාධි මාත්‍රයක්වත් ලබාදිය නුහුණු ස්වර්ණකාර භික්ෂුවට එක් වරුවකින් අර්හත්ඵලය ලබා දීමට තථාගතයන් වහන්සේ සමත් වූහ. අනුන්ගේ අදහස් දත හැකි ආශයානුශයඥානය ඇත්තේ ලොවුතුරා බුදුවරුන්ට පමණෙකි. එ බැවින් බුදුවරු ම නො වරදින ලෙස අනුශාසනා කිරීමෙහි සමත් වන්නාහ. ඒ නුවණ නැති බැවින් සැරියුත් තෙරණුවෝ ස්වර්ණකාර භික්ෂුව අර්හත්වයට පැමිණවීමට නො සමත් වූහ.

(ධම්මපදට්ඨකථා)

භික්ෂූන් පන්සියයක් රහත්වීම

එක් වස්කාලයක් සමීපයේ පන්සියයක් භික්ෂූහු තථාගතයන් වහන්සේගෙන් කමටහන් ලබා ගෙන යෝග්‍ය සේනාසනයක් හා ගොදුරුගමක් සොයන්නාහු අනුක්‍රමයෙන් හිමාලය හා සම්බන්ධ වූ මනරම් ගල්තලා වැලිතලා හා ජලාශයන් ඇති පර්වතයක් දැක එහි වැඩ, පසු දින සමීප ගමකට පිඬු පිණිස ගිය කල්හි ගම් වැසියෝ දන් දී එහි ම වස්කාලයෙහි විසීමට ආරාධනා කොට භික්ෂූන්ට ඒ පර්වතයෙහි වාසස්ථානයන් ද පිළියෙල කර දුන්හ. ඒ වනයෙහි ගස්වල බොහෝ දේවතාවෝ විසූහ. භික්ෂූන් භාවනාව සඳහා ගස් මුල හිඳ ගනිති. දේවතාවෝ සිල්වත් භික්ෂූන් බිම ඉන්නා කල්හි ගස්හි විසීමට අපොහොසත් වූවාහූ ගස් වලින් ඉවත් ව විසූහ. “භික්ෂුහූ අද යති ය සෙට යතිය”යි බලා සිටියා වූ දෙවියෝ ඔවුන් නො යන කල්හි උන්වහන්සේලා බිය ගන්වා වනයෙන් පළවා හරිනු පිණිස රාත්‍රියෙහි භික්ෂූන් භාවනාවෙහි යෙදී ඉන්නා අවස්ථාවට පැමිණ භායානක රූප දක්වන්නට හා ශබ්ද කරන්නට ද පටන් ගත්හ. ඒ රූප දැක ඒ ශබ්ද අසා ඒ භික්ෂූන්ට සිත් එකඟ කරන්නට නො පිළිවන් විය. ඒ භය නිසා ක්‍රමයෙන් භික්ෂූන්ගේ ශරීර ද දුබල විය. ඔවුනට සිහිය පිහිටුවා ගන්නට ද නො හැකි විය. දෙවියෝ එ පමණකින් නො නවත්වා ඉවසිය නො හෙන දුර්ගන්ධයන් ද එවන්නට වූහ. භික්ෂූහු තම තමන්ට ඇති කරදර අන්‍ය භික්ෂූන්ට ද කියා සැමදෙනා වහන්සේ ම එකතුව මේ කරුණ බුදුරදුන්ට දන්වා අපට සත්ප්‍රායවන අන් සෙනසුනක් තථාගතයන් වහන්සේගෙන් දැන ගෙන අන් සෙනසුනක පසුවස් විසීමේ බලාපොරොත්තුවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් සිදු වූ දෑ සැල කළහ. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට සත්ප්‍රාය වන අන් සෙනසුනක් බලන සේක්, මුළු පොළොවෙහි ම නො දැක භය දුරු කරවීම සඳහා භාවිතා කිරීමට මෛත්‍රීය සූත්‍රය උගන්වා භික්ෂූන් නැවත ඒ සෙනසුනට ම යැවූ සේක. ඉන්පසු දේවතාවෝ භික්ෂූන් කෙරෙහි පැහැදී උන්වහන්සේලාට උපකාර ද කරන්නට වූහ. සැම දෙනා වහන්සේ ම එහි වෙසෙමින් මහණදම් පුරා වස්කාලය තුළදී ම රහත් වුහ.

මහාබෝධිමූලයේ වැඩ සිට භාවනා කිරීමෙන් මිස අන් තැනක භාවනාවෙහි යෙදීමෙන් ලොවුතුරා බුදු බවට නො පැමිණිය හැකි ය. බෝධිමූලය ම ලොවුතුරා බුදුබව ලැබීමට සුදුසු ස්ථානය ය. එමෙන් රහත් වන්නා වූ පුද්ගලයන්ට ද සුදුසු ස්ථාන ඇත්තේ ය. සුදුසු ස්ථානයේදී ම මිස අන් තැනක මහණ දම් පුරා රහත් වන්නට ද නො පිළිවන, සමහරුන්ට රහත් වීමට සුදුසු ස්ථාන බොහෝ තිබිය හැකි ය. සමහරුන් ට ඇත්තේ එක් ස්ථානයක් පමණෙකි. සත්ප්‍රාය සෙනසුන දත හැකි නුවණ ලොවුතුරා බුදුනට මිස සෙස්සන්ට නැත. එහෙත් ඒ ඒ පුද්ගලයෝ තම තමන්ට සත්ප්‍රාය ස්ථානවලට කර්මානුකූලව පැමිණෙති. ඉහත කී භික්ෂූන් පන්සියය ඒ සෙනසුන හැර ගියාහු නම් ඔවුනට රහත් වන්නට නො පිළිවන් වන්නේ ය. තථාගතයන් වහන්සේගේ අනුශාසනය ලැබ පළමු සෙනසුනට ම ආපසු ගිය බැවින් ඒ භික්ෂූහු අර්හත් ඵලයට පැමිණියහ. එසේ සුදුසු පරිදි නො වරදනා පරිදි අනුශාසනයට සමත් බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි අග්‍රාඅනුශාසකයන් වහන්සේ වන සේක.

බෝධිසත්ත්වානුශාසනා

අප භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ත්ව කාලයේදීද නොයෙක් ජාතිවලදී බොහෝ ජනයාට අනුශාසනා කොට ඔවුන්ට වර්තමාන භවයේ යහපත සිදු කර දුන් බව ද බොහෝ ජනයා දිව්‍යලෝක බ්‍රහ්මලෝක වලට යැවූ බව ද ජාතක කථාවලින් පෙනේ.

කුද්දාල පණ්ඩිතයෝ

අතීතයේ මහබෝසතාණෝ එක්තරා දිළිඳු පවුලක ඉපද ගොවිකමින් ජීවත් වූහ. එකල්හි උන් වහන්සේ කුද්දාලපණ්ඩිත නම් වූහ. උන් වහන්සේ එළවලු වවා ඒවා විකුණා ජීවත් වූහ. එකල උන් වහන්සේ සතුව තුබූ එක ම ධනය උදැල්ලක් පමණකි. උන් වහන්සේ “මේ ගිහි ගෙයින් මට කවර ප්‍රයෝජනයක් ද, පැවිදි වන්නෙමි”යි සිතා උදැල්ල සඟවා තබා තවුස් පැවිද්දෙන් පැවිදි වූහ. නොබෝ කලකින් ම නැවත උදැල්ල සිහි වී එහි ලෝභය සිඳිය නො හැකි ව නැවත ගිහිව උදැල්ල ගෙන පුරුදු රස්සාව කළහ. ටික කලකදී නැවත ද කලකිරී උදැල්ල සඟවා තබා පැවිදි වූහ. උදැල්ල සිහි වී නැවත ද සිවුර හළහ. නැවත නැවත පැවිදි වෙමින් උදැල්ල නිසා සවරක් ම සිවුරු හළහ. බෝසතාණන්ට සත්වන වරට ද පැවිදි වන්නට සිත් විය. එකල්හි එතුමෝ “මා සවරක් ම ගිහි වූයේ මේ උදැල්ල නිසා ය. මෙය තුබුණ හොත් නැවත ද මෙහි එන්නට සිත් විය හැකි ය. එසේ නොවන්නට මෙවර උදැල්ල ගඟට දමා යෙමි”යි සිතා ගංතෙරට ගොස් “වැටෙන තැන දුටුහොත් නැවත ද ගන්නට සිත්විය හැකිය”යි වැටෙන තැන නොපෙනෙනු පිණිස ඇස් පියාගෙන උදැල්ල මිටෙන් ගෙන හිසවට තුන් වරක් කරකවා හැකිතාක් වේගයෙන් ගඟට විසි කොට “මම දිනමි, මම දිනමි”යි තුන් වරක් මහ හඬ නැඟූහ. එකෙණෙහි බරණැස් රජු ද ප්‍රත්‍යන්තය සන්සිඳුවා ජය ගෙන ඒ නදී තීරයෙහි එමින් සිටියේ ය. එතුමාට බෝසතාණන්ගේ හඬ ඇසී මේ පුරුෂයා ‘මම දිනමි, මම දිනමි’යි හඬ නගයි. ඔහු දිනුයේ කුමක්දැ’යි විමසිය යුතුය’යි සිතා බෝසතාණන් ගෙන්වා “පුරුෂය, මම නම් දැන් යුදයෙන් දිනා එන්නෙමි ය. මම දිනිමි, මම දිනිමි, යි හඬ නඟන නුඹේ දිනුම කුමක්දැ”යි ඇසී ය.

බෝසතාණෝ තමන්ගේ දිනුම විස්තර කරමින් ම ගඟ දිය බලා එහි නිමිත්ත ගෙන ධ්‍යාන උපදවා අහසට නැඟ අහසෙහි සිට රජුට දහම් දෙසූහ. බෝසතාණන්ගේ ධර්මානුශාසනය අසා සිටියදී ම රජු ගෙන් ද තදංග වශයෙන් කෙළෙස් දුරු වී ඔහුගේ සිත ද පැවිද්දට නැමුණේ ය. රජු හා පැමිණ සිටි ජනයාගේ සිත් වලින් ද කෙලෙස් දුරු විය. ඔවුන්ගේ සිත් ද පැවිද්දට නැමිණ. රජු “ඔබතුමා දැන් කොහි යන්නෙහි දැ”යි කුද්දාල පණ්ඩිතයන්ගෙන් ඇසීය. බෝසතාණෝ “මම හිමාලයට ගොස් පැවිදි වන්නෙමි”යි කීහ. එසේ නම් “මම ද ඔබ හා පැවිදි වෙමි”යි කියා රජතුමා ද බෝසතාණන් හා යන්නට පිටත් විය. රජු නික්මුණු කල්හි ඔහු හා පැමිණ සිටි සෙනඟ “අපි ද පැවිදි වන්නෙමු”ය යි නික්මුණාහ. බරණැස් නුවර වැසියෝ ද “රජු හා බල සෙනඟ පැවිදි වන්නට ගිය කල්හි අපි මෙහි කුමක් කරමුදැ”යි සැම දෙන ම පැවිද්ද සඳහා නික්මුණාහ. බෝසතාණන් හා නික්මුණු පිරිස දොළොස් යොදුනක් තැන් පුරා පැතිර සිටින මහජනකායක් විය. කුද්දාල පණ්ඩිතයෝ ඒ මහ පිරිස ද සමඟ හිමාල වනයට පිටත් වූහ. කුද්දාල පණ්ඩිතයන්ගේ අභිනිෂ්ක්‍රමණය දුටු සක්දෙව් රජු ඒ පිරිසට අසපුවක් පිළියෙල කිරීම සඳහා විස්කම් දෙව්පුත් එවී ය. විස්කම් දෙව් ඒ පිරිස සඳහා දිගින් තිස් යොදුනක් හා පුළුලින් පහළොස් යොදුනක් ඇති සම බිමක අසපුවක් මැවීය. බෝසතාණෝ පිරිස හා එහි ගොස් පැවිදි ව සෙස්සන් ද පැවිදි කළහ. කුද්දාල පණ්ඩිතයාගේ පැවිද්ද ඇසූ අන්රටවල ජනයා ද පැවිදි වන්නට එහි ගියහ. රාජ්‍ය සතක ජනයා එහි ගොස් පැවිදි වූහ. තිස්යොදුන් අසපුව පැවිද්දන්ගෙන් පිරිණ. රාජ්‍ය සතක් හිස් විය. බෝසතාණෝ ධ්‍යාන උපදවා ගැනීම සඳහා ඔවුනට අනුශාසනය කළහ. උන් වහන්සේගේ අනුශාසනයෙන් බ්‍රහ්මවිහාර භාවනා කොට සැමදෙන ම ධ්‍යාන ලබා ආයු කෙළවර බඹලොව උපන්හ. ඔවුනට උවටැන් කළ පිරිස දෙව්ලොව උපන්හ.

(කුද්දාල ජාතකය)

බෝධිසත්ත්වයන් වහන්සේ කුද්දාල පණ්ඩිත කාලයෙහි මෙන් ම පැවිදිව තේමිය කුමාර කාලයේ ද චූලසුතසෝම රාජ කාලයේ ද, අයෝඝර කුමාර කාලයේදී ද, හත්ථිපාල කුමාර කාලයේ ද, ජෝතිපාල මානව කාලයේදී ද, තමන් වහන්සේ අනුව පැවිදි වූ ලක්ෂසංඛ්‍යාත ජන සමූහයකට ධ්‍යාන ලබා බඹලොව යා හැකි වන පරිදි අනුශාසනය කළ බව ජාතක අටුවාවෙහි දක්වා ඇත.

අතීතයෙහි ලක්දිව විසූ සුප්‍රසිද්ධ මහාස්ථවිරයන් වහන්සේලා වන පඨවිචාලක ධම්මගුත්ත තෙරණුවෝය කටකන්ධකාරවාසී ඵුස්සදේව තෙරණුවෝ ය. උපරි මණ්ඩලායක මලයවාසී මහා සංඝරක්ඛිත තෙරණුවෝ ය. මලිය මහා දේව තෙරණුවෝ ය. භග්ගිරිවාසී මහාදේව තෙරණුවෝ ය. ගාමන්ත පබ්බාරවාසී මහාසීව තෙරණුවෝ ය. කාළවල්ලීමණ්ඩපවාසී මහානාග තෙරණුවෝ ය යන මහා ස්ථවිරවරු කුද්දාල සමාගමය, මූගපක්ඛ සමාගමය, චූලසුතසෝම සමාගමය, අයෝඝර පණ්ඩිත සමාගම ය, හත්ථිපාල සමාගමය යන බෝධිසත්ත්වයන් වහන්සේගේ මහා සමාගමයන්හි සියල්ලට පසුව පැවිදි වූවෝය යි හත්ථිපාල ජාතක අටුවාවෙහි දක්වා තිබේ.

හත්හැවිරිදි සම්භව කුමාරයන්ගේ ධර්මානුශාසනය

අතීතයෙහි කුරුරට ඉන්දපත්ත නගරයෙහි ධනඤ්ජය කෝරව්‍ය නම් රජෙක් විය. සුචීරත නම් බ්‍රාහ්මණයෙක් ඔහුගේ පුරෝහිත විය. රජතුමා දානාදී පින්කම් කරමින් දැහැමින් රජය කරයි. එක් දවසක් රජු ධම්මයාග නම් ප්‍රශ්ණයක් පිළියෙල කොට සුචීරත බමුණාට සත්කාර කොට ඒ පැනය විචාළේය. සුචීරත බොරු නො කොට එය තමාට අවිෂය බව, තමා විසින් විසඳිය නො හෙන පැනයක් බව පවසා “මේ ප්‍රශ්නය විසඳීමට බරණැස් රජුගේ පුරෝහිත විධුර බ්‍රාහ්මණයා හැර අනිකෙක් සමත් නො වෙති”යි කී ය. එකල්හි රජතුමා ඒ ප්‍රශ්නය විසඳා ගෙන එනු පිණිස පුරෝහිත බමුණා ම එහි පිටත් කෙළේ ය. සුචීරත කෙළින් ම බරණැසට නො ගොස් දඹදිව ඇවිද බොහෝ පඬිවරුන්ගෙන් ඒ ප්‍රශ්නය විචාළේ ය. විසඳීමට කිසිවෙක් සමත් නො වී ය. ඉක්බිති සුචීරත බමුණා ක්‍රමයෙන් බරණැස් නුවරට ගොස් බරණැස් රජුගේ පුරෝහිත විධුර බ්‍රාහ්මණයාගෙන් ධර්මයාග ප්‍රශ්නය විචාළේ ය. ඔහු එය නො විසඳා “මගේ පුත්‍ර වූ භද්‍රකාර පණ්ඩිතයෙක, මට වඩා නුවණැතියෙක, මේ ප්‍රශ්නය ඔහු විසඳනවා ඇත. ඔහු වෙත ගොස් අසන්නය”යි කීය.

බ්‍රාහ්මණ තෙමේ භද්‍රකාර වෙත ගොස් ප්‍රශ්නය විචාළේ ය. “මේ කාලයේ නො මනා ක්‍රියාවක යෙදීමෙන් මාගේ සිත ව්‍යාකූල වී ඇත්තේ ය. ඒ නිසා මෙය මට විසඳිය නො හැකි ය. මාගේ සහෝදර සඤ්ජය කුමාරයා ඉතා නැණවතෙක, ඔහුගෙන් මේ ප්‍රශ්නය අසන්න, ඔහුගෙන් මේ ප්‍රශ්නය විසඳා ගත හැකි වන්නේ ය”යි භද්‍රකාර කීය.

සුචීරත බ්‍රාහ්මණ තෙමේ සඤ්ජය වෙත ගොස් ප්‍රශ්නය විචාළේ ය. ඒ කාලයේ දී පරදාරාවන් සේවනය කිරීමෙන් සඤ්ජයගේ සිත ද ආකූලව පැවැත්තේ ය. එබැවින් ඔහු ප්‍රශ්නය නො විසඳා “මගේ බාලසහෝදර සත්අවුරුදු වියෙහි සිටින සම්භව කුමාර තෙමේ අපට වඩා බොහෝ නුවණැතියෙක, ඔබගේ ප්‍රශ්නය විසඳීමට ඔහු සමත් වනු ඇත. ඔහු කරා ගොස් ප්‍රශ්නය අසන්නය”යි සඤ්ජය කීය. එකල්හි සුචීරත “පියාය වැඩිමහළු පුත්‍රයන් දෙදෙනාය යන තිදෙනාට ම විසඳිය නුහුණු ප්‍රශ්නය බාලකුමාරයා කෙසේ විසඳන්නේ දැ”යි කී ය. සම්භව කුමාරයෝ බෝධිසත්ත්වයෝ ය. සඤ්ජය කුමරා තෙමේ තමාගේ මලණුවන් වන සම්භව කුමාරයන්ගේ ගුණ වැණූ කල්හි සුචීරත බ්‍රාහ්මණ තෙමේ සම්භව කුමාරයන් වෙත ගියේ ය. එකල්හි සම්භව කුමාරයන් හුන්නේ වීදියෙහි කුමරුවන් හා ක්‍රීඩා කරමිනි.

බෝධිසත්ත්වයන් විසින් ආ කරුණු විචාළ කල්හි සුචීරත මෙසේ කීය. “මම කෝරව්‍ය රජතුමා විසින් එවන ලද දූතයෙක්මි. අපගේ රජතුමා අර්ථයත් ධර්මයත් දැනගනු කැමැත්තේ ය. එතුමා අර්ථයත් ධර්මයත් විචාරන්නේ ය. එතුමාට අර්ථයත් ධර්මයත් පහදා කියනු මැනව.

බෝධිසත්ත්වයන් වහන්සේ සුචීරත හට අර්ථයත් ධර්මයත් මෙසේ පැවසූහ.

“අජ්ජ සුවෙති සංසෙය්‍ය - රඤ්ඤා පුට්ඨො සුචීරත
මා කත්වා අවසී රාජා - අත්ථෙ ජාතෙ යුධට්ඨීලො.

.

අජ්ඣත්තඤ්ඤෙව සංසෙය්‍ය - රඤ්ඤා පුට්ඨො සුචීරත
කුම්මග්ගං න නිසෙවෙය්‍ය - යථා මූළ්හො අචෙතසො.

.

අත්තානං නාතිවත්තෙය්‍ය - අධම්මං න සමාචරෙ,
අතිත්ථෙ නප්පතාරෙය්‍ය - අනත්ථෙ න යුතො සියා.

.

යො ච එතානි ඨානානි - කත්තුං ජානාති ඛත්තියො,
සදා සො වඩ්ඪතෙ රාජා - සුක්කපක්ඛෙව චන්දිමා.

.

ඤාතීනඤ්ච පියො හොති - මිත්තෙසු ච විරොචතී,
කායස්ස භෙදා සප්පඤ්ඤො - සග්ගං සො උපපජ්ජති.”

ගාථාවල අදහස :-

ඔබගේ රජුට යම් කිසි කුශල ක්‍රියාවක් කරනු කැමැත්ත ඇති වී අද මෙය කරමු දැයි ඇසූ කල්හි මහරජ, අද දඩයම් කරමුය, මත්පැන් බොමු ය, ක්‍රීඩා කරමු ය, ඒ පින්කම සෙට කරමුය යි කොතරම් උසස් කෙනකුන් විසින් කීව ද එයට අනුකූල නොවී අදහස් කළ පුණ්‍ය කර්මය එදිනම කෙරේවා. ඒ බව ඔබගේ රජුට කියනු. ධර්මයාග ප්‍රශ්නය ගැන සම්භව පණ්ඩිතයන් කුමක් කීයේ දැයි අසන ඔබ රජුට මේ පඤ්චස්කන්ධය ඇති නැති වන අනිත්‍ය දෙයකැයි කියව, මුළා වූ අන්ධ පෘථග්ජනයන් මෙන් ද්වාෂෂ්ඨී දෘෂ්ඨි සංඛ්‍යාත අමාර්ගය ඔබ රජු සේවනය නො කෙරේවා, ත්‍රිවිධ කුලසම්පත්තියෙන් හා දේවසම්පත්තියෙන් පිරිහෙන පව්කම් ඔබ රජු නො කෙරේවා. ඔබ රජ මහජනයා ද්වාෂෂ්ඨී දෘෂ්ටි සංඛ්‍යාත අතීර්ථයට නො පමුණුවාවා, අකාරණයෙහි නො යෙදේවා. බ්‍රාහ්මණය, ඔබ රජ ධර්මයාග ප්‍රශ්නයෙහි පවතිනු කැමැත්තේ නම් මේ අනුශාසනයෙහි පිහිටාවා. යම් රජෙක් කියන ලද දේවල් කරන්නට දන්නේ නම් කෙරේ නම් ඒ රජ ශුක්ල පක්ෂයේ චන්ද්‍රයා මෙන් වැඩෙන්නේ ය. නෑයන්ට ප්‍රිය වන්නේ ය. මිත්‍රයන් අතර බබලන්නේ ය. මරණින් මතු දෙව්ලොව උපදනේ ය.

සුචීරත බ්‍රාහ්මණ තෙමේ බෝසතාණන්ගේ අනුශාසනය රත්පතෙහි ලියාගෙන ගොස් කෝරව්‍ය රජුට ධර්මයාග ප්‍රශ්නය පහදා දුන්නේ ය. රජතුමා එය අනුව ක්‍රියා කොට ස්වර්ගපරායන විය.

බෝසතාණන් වහන්සේ තිරිසන් ජාතිවල ඉපද සිටියදී ද නොයෙක් වර රජුන්ට පවා අනුශාසනය කරන ලද බව බොහෝ ජාතක කථා වලින් පෙනේ. සූකරව උපන් කලක කළ ධර්මානුශාසනය මිනිසුන් අතර අවුරුදු සැටදහසක් කල් පැවැති බව ද, ජම්බුක නම් පක්ෂියකුව සිටියදී කළ අනුශාසනය අවුරුදු හතළිස් දහසක් කල් පැවැති බව ද ජාතක අටුවාවෙහි දක්වා ඇත්තේ ය.

8. බුද්ධ ගුණය

සම්මාසම්බුද්ධ - බුද්ධ යන පදයෙහි අර්ථය එකිනෙකට වැඩි වෙනසක් නො මැත. ඒ පද දෙකින්ම තථාගතයන් වහන්සේ විසින් චතුස්සත්‍ය ධර්මය අවබෝධ කළ බව කියැවේ. සම්මාසම්බුද්ධ පදයෙන් පරෝපදේශ රහිතව ස්වශක්තියෙන් මැනවින් අවබෝධ කළ බව විශේෂයෙන් කියවේ. එසේ තිබියදී මේ බුද්ධගුණ පාඨයට බුද්ධ යන පදය නැවත ද ඇතුළු කර ඇත්තේ, චතුස්සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමෙන් පමණක් නො නැවතී ඒ ධර්මය අන්‍ය සත්ත්වයන්න්ට ද අවබෝධ කරවීම වූ ගුණය දැක්වීම සඳහා විය යුතු ය. බුද්ධ යන පදයෙන් අවබෝධ කරවීම ද කියැවේ. ධර්මය අවබෝධ කර ගත් සැම දෙනම ඒ ධර්මය අනුන්ට අවබෝධ කරවීමට සමත් නො වෙති. පසේබුදුහු ද චතුස්සත්‍ය ධර්මය අවබෝධ කර ගනිති. එහෙත් ඔවුහු ඒ ධර්මය සෙස්සන්ට අවබෝධ කරවීමට සමත් නො වෙති. ලොවුතුරා බුදුහු තමන් වහන්සේ විසින් අවබෝධ කළ ධර්මය සෙසු දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවා බොහෝ සත්ත්වයන් දුකින් මුදවති. බොහෝ සත්ත්වයන් නිවනට පමුණුවති. ලොවුතුරා බුදුනට අන්‍යයන්හට චතුස්සත්‍යය අවබෝධ කරවීමෙහි ඇති සාමාර්ථ්‍යය පුරිසදම්මසාරථී සත්ථාදෙවමනුස්සානං යන ගුණපද විස්තර කිරීමෙහිදී දැක්විණ. මෙතැන්හි විශේෂයෙන් විස්තර කළ යුත්තේ තමා ලත් දෙය දොර වසා ගෙන අනුභව කරන මසුරකු මෙන් තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය සඟවා ගෙන ආත්මාර්ථය පමණක් බලා ගෙන සුවසේ නො සිට තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මහෝත්සාහයෙන් සෙසු දෙවිමිනිසුන්ට ද බෙදා දෙන බව ය.

“සබ්බදා සබ්බසත්තානං - හිතාය ච සුඛාය ච
උස්සුක්කො අකිලාසු ච - අහො අච්ඡරියො ජිනො”

යනුවෙන් දැක්වෙන පරිදි තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ලොවුතුරා බුදුව ජීවත් වූ පන්සාලිස් වස මුළුල්ලෙහි ම දෙවිමිනිසුන්ට ධර්මය අවබෝධ කර දීමෙහි - ඔවුන් දුකින් මිදවීමෙහි - ඔවුන්ට නිවන් දැක්වීමෙහි මහෝත්සාහයෙන් යෙදුන සේක. උන් වහන්සේ ඒ ඒ දිනයන්හි ධර්මය අවබෝධ කර ගැනීමට සමත් වන්නෝ කවරහුදැයි බලා ඔවුනට තමන් වහන්සේ අවබෝධ කර ඇති ධර්ම දේශනය කළ සේක. ධර්මය අවබෝධ කර ගැනීමට සමත් සත්ත්වයන් දැක උන් වහන්සේ ඔවුන් කරා බොහෝ දුර පා ගමනින් ම වැඩම කළ සේක. එක් වරක් යාමෙන් ධර්ම අවබෝධය කර දිය නො හෙන ඇතැම් පුද්ගලයන් කරා උන්වහන්සේ නොයෙක් වර වැඩම කොට ඔවුනට චතුස්සත්‍ය ධර්මය අවබෝධ කරවූ සේක. එක් මිසදිටු බමුණකුට ඔහු මිත්‍ර කරගෙන ධර්මය අවබෝධ කරවීම සඳහා තථාගතයන් වහන්සේ ඔහු වෙත බොහෝ වාර ගණනක් වැඩම කළ සේක. මහාකප්පින රජු හා ඔහුගේ පිරිසට දහම් දෙසනු පිණිස තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ පාසිවුරු තමන් වහන්සේ විසින් ම ගෙන එක්සිය විසියොදුන් මඟ ගෙවා එකලාව වැඩම කළ සේක. පුක්කුසාති රජු පැවිදි වී බුදුරදුන් සොයා එන කල්හි තමන් වහන්සේ විසින් ම පා සිවුරු ගෙන පන්සාලිස් යොදුන් මඟ පාගමණින්ම වැඩම කොට ඔහු හා කුම්භකාරශාලාවෙක්හි රාත්‍රිය ද ගත කල සේක. පිරිනිවන් පානා දිනයෙහි පිරිනිවන් මඤ්චකයෙහි සයනය කරමින් සුභද්‍ර නම් පිරිවැජියාට දහම් දෙසූ සේක.

මිසදිටු බමුණාගේ කථාව

එක් මිසදිටු බමුණෙක් ගංතෙරක කුඹුරක් සකස් කෙළේ ය. බුදුන් වහන්සේ ඔහුගේ උපනිඃශ්‍රය සම්පත්තිය දැක ඔහු කුඹුර සකස් කරන තැනට වැඩ වදාළ සේක. ඔහු තථාගතයන් වහන්සේ දැක ද තමා කරන දෙයම කළා මිස උන්වහන්සේ ගැන සැලකිල්ලක් නො කෙළේ ය. තථාගතයන් වහන්සේ ම “බ්‍රාහ්මණය, කුමක් කරන්නෙහි දැ”යි අසමින් ඔහු හා පළමුවෙන් කථා කළහ. “ගෞතමයෙනි, කුඹුර ශුද්ධ කෙරෙමි”යි බමුණා කීය. එදින කථාව එ පමණින් කෙළවර විය. පසු දින බමුණා කුඹුර සෑමට ගියේ ය. තථාගතයන් වහන්සේ ද එහි වැඩම කොට “බ්‍රාහ්මණය, කුමක් කරන්නෙහි දැ”යි වදාළහ. “ගෞතමයනි, කුඹුර සාමි”යි බමුණා කීය. කුඹුර වපුරන දිනයෙහි ද තථාගතයන් වහන්සේ එහි වැඩම කොට “බ්‍රාහ්මණය, කුමක් කරන්නේහි දැ”යි වදාළහ. “ගෞතමයෙනි, කුඹුර වපුරමි”යි බමුණා කීය. තථාගතයන් වහන්සේ නැවත නැවත ද කුඹුරට වැඩම කළහ. එයින් බමුණාගේ රෞද්‍ර ගතිය ක්‍රමයෙන් නැති විය. මඳින් මඳ ඔහු තථාගතයන් වහන්සේට මිත්‍ර විය. දිනක් තථාගතයන් වහන්සේ එහි වැඩම කළ කල්හි බ්‍රාහ්මණයා “පින්වත් ගෞතමයනි, මා බිම සකස් කිරීමට පටන් ගත් තැන පටන් ම ඔබ මෙහි පැමිණෙන්නෙහි ය, ඉඳින් මේ ගොයම හරි ගියහොත් ඔබට ද මෙයින් දෙන්නෙමිය, මම මෙය තනිව නො කමිය, මෙතැන් පටන් ඔබ මාගේ යහළුවෙකැ”යි කීය. ගොයම හොඳින් වැඩී පැසුණේ ය. බ්‍රාහ්මණයා ගොයම් හොඳින් වැඩී ඇති බව ගැන ඉමහත් සතුටින් සිටියේ ය. ‘සෙට ගොයම් කපමි’යි සූදානම් ව සිටි දින රාත්‍රියෙහි මහ වැසි වැස ගඟ ගලා ගොයම ඉදිරී ගඟ දියෙහි පාවී ගියේ ය. කුඹුරු උදුලු ගෑ තැනක් මෙන් දිස් විය. බමුණා පසු දින කුඹුර බැලීමට ගියේ ය. එකම ගොයම් ගසකුදු නො මැතිව උදුලු ගෑ බිමක් මෙන් වී තුබුණු කුඹුර දුටු බමුණාට දැරිය නො හෙන ශෝකයක් ඇති විය. ඔහු ගෙට අවුත් ඇඳකට වී ආහාර ගැනීම ද හැර නිදා සිටියේ ය. තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණයාග් කුඹුර පාළු වන බව කලින් ම දැන සිටිය හ. උන් වහන්සේ ඔහු වෙත නැවත නැවත වැඩ වදාළේ මේ අවස්ථාවේ දී ඔහුට පිහිට වනු පිණිස ය. එදා තථාගතයන් වහන්සේ ඔහුගේ දොරකඩට ම වැඩම කළහ. බමුණා බුදුරදුන් පැමිණි බව අසා “මගේ යහළුවා ගේ තුළට කැඳවා වාඩි කරවව්”ය යි කීය. ගෙහි විසුවෝ එසේ කළහ. තථාගතයන් වහන්සේ විසින් බ්‍රාහ්මණයා කැඳවූ කල්හි ඔහු පැමිණ උන්වහන්සේ සමීපයෙහි හිඳ ගත්තේ ය. “කිමෙක් ද බ්‍රාහ්මණය ”යි තථාගයන් වහන්සේ වදාළ කල්හි බ්‍රාහ්මණයා කියනුයේ “පින්වත් ගෞතමයෙනි, මා කුඹුරේ වැඩ පටන් ගත් තැන සිටම ඔබ වහන්සේ ද කුඹුරට පැමිණියහු ය. කුඹුර හරි ගිය කල්හි මම ඔබ වහන්සේට ද දෙමිය යි කීමි. මාගේ ඒ අදහස ව්‍යර්ථ වී ගියේ ය. එයින් මට මහත් ශෝකයක් හටගති. මට දැන් ආහාර ද නොගත හැකි ය”යි කීය.

එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය නුඹට මේ ශෝකය ඇති වූයේ කුමක් නිසා දැයි දන්නෙහිදැ”යි වදාළහ. “පින්වත් ගෞතමයනි, මම නොදනිමි, ඔබ වහන්සේ ඒ කාරණය දන්නහු දැ”යි බමුණා කීය. තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, මම ඒ කරුණ දනිමි. සත්ත්වයනට ශෝකයක් හෝ භයක් හෝ උපන්නේ නම් තණ්හාව නිසා ම ය” වදාරා,

“තණ්හාය ජායතී සොකො - තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං”

(ධම්මපද)

යන ගය වදාළ සේක.

තථාගතයන් වහන්සේගේ දේශනාවසානයේ චතුස්සත්‍යයන් අවබෝධ වී බමුණා සෝවාන් ඵලයට පැමිණියේ ය. මෙසේ තථාගතයන් වහන්සේ අන්‍යයන්ට ධර්මය අවබෝධ කිරීම සඳහා නිරන්තරයෙන් උත්සාහ ගන්නා සේක.

බුද්ධඥාන තුදුස

බුද්ධඥාන නමින් ඥාන තුදුසක් ද පටිසම්භිදාමග්ගයෙහි වදාරා ඇත්තේ ය. තුදුස් බුදු නැණින් යුක්ත වන බැවින් ද තථාගතයන් වහන්සේ බුද්ධ නම් වෙති. බුද්ධඥාන තුදුස මෙසේ වදාරා ඇත්තේ ය.

“චුද්දස බුද්ධ ඤාණානි, දුක්ඛෙ ඤාණං බුද්ධ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං බුද්ධඤාණං, දුක්ඛ නිරෝධ ඤාණං බුද්ධඤාණං, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය ඤාණංබුද්ධ ඤාණං, අත්ථපටිසම්භිදෙ ඤාණං බුද්ධඤාණං, ධම්මපටිසම්භිදෙ ඤාණං බුද්ධඤාණං, නිරුත්තිපටිසම්භිදෙ ඤාණං බුද්ධඤාණං, පටිභානපටිසම්භිදෙ ඤාණං බුද්ධඤාණං, ඉන්ද්‍රියපරොපරියත්තෙ ඤාණං බුද්ධඤාණං, සත්තානං ආසයානුසයෙ ඤාණං බුද්ධඤාණං, යමකපාටිහාරියෙ ඤාණං බුද්ධඤාණං, මහාකරුණාසමාපත්තියා ඤාණං බුද්ධඤාණං, සබ්බඤ්ඤුතඤාණං බුද්ධඤාණං, අනාවරණ ඤාණං බුද්ධඤාණං, ඉමානි චුද්දස බුද්ධඤාණානි ඉමෙසං චුද්දසන්නං බුද්ධඤානාණං අට්ඨඤාණානි සාවකසාධාරණානි, ඡ ඤණානි අසාධාරණානි සාවකෙහි”

(පටිසම්භිදාමග්ග)

චතුර්දශ බුද්ධඥානයන් අතුරෙන් සත්‍යඥාන සතර දැක්වීමට චතුස්සත්‍යය විස්තර කළ යුතු ය. චතුස්සත්‍යය සම්මාසම්බුද්ධගුණය විස්තර කිරීමේ දි සැකෙවින් දක්වා ඇත. විස්තර වශයෙන් දනු කැමැත්තෝ අප විසින් සම්පාදිත චතුරාර්‍ය්‍ය සත්‍යය නමැති ග්‍රන්ථය කියවත්වා.

පටිසම්භිදා ඤාණ

ඤාණය වනාහි සාමාන්‍යයෙන් දන්නා ඥානය, ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දන්නා ඥානය යි දෙවදෑරුම් වේ. ගසක්, ගසක් වශයෙන් දැනීම සාමාන්‍ය ඥානය යි. මුල් - සුඹුලු - පොතු - ඵලය - අරටුව - බඩය - අතු - රිකිලි - කොළ මල් - ගෙඩි, ඒවායේ පැහැය - සටහන - ගන්ධය - රසය යන විශේෂ විභාග සියල්ල දැනීම ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දැනීම ය. ඒ ඒ දේවල් ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දන්නා ඥානය පටිසම්භිදා ඤාණ නම් වේ. ඒ ඒ ධර්මය පිළිබඳ වූ දැනුම ඥාන වශයෙන් එකක් වුව ද දැන ගන්නා වූ ධර්ම අනුව ඒ ඥානය ඥාන සතරක් කොට දක්වා තිබේ. අත්ථපටිසම්භිදා ඤාණය, ධම්ම පටිසම්භිදා ඤාණය, නිරුත්තිපටිසම්භිදා ඤාණය, පටිහාන පටිසම්භිදා ඤාණය යනු ඒ ඤාණ සතරය.

ප්‍රභේද සහිතව විස්තර සහිතව හේතූන්ගේ ඵල දන්නා නුවණ අත්ථපටිසම්භිදා ඤාණ නම් වේ. ජනක හේතුය, සම්පාපක හේතුය, ඥාපක හේතුය යි හේතු තුන් වර්ගයකි. ගස, ගෙඩි උපදවන්නාක් මෙන් නො තුබූ යම් කිසිවක් ඇති කරන්නා වූ හේතුව ජනක හේතු නම් වේ. අවිද්‍යා තෘෂ්ණා කර්මාදීහූ ජනක හේතූහු ය. ජනක හේතූන් විසින් උපදවන ලද නාමරූප ධර්මයෝ අත්ථ නම් වෙති. නැව මෙතර සිටියවුන් එතෙරට පමුණුවන්නාක් මෙන් ඇත්තා වූ යම් කිසිවකට පමුණුවන හේතුව සම්පාපකහේතු නමි, ආර්‍ය්‍යමාර්ගය සත්ත්වයන් නිවනට පමුණුවන බැවින් සම්පාපක හේතුවකි. නිවන එහි ඵලය ය. සම්පාපකහේතුවගේ ඵලභාවයෙන් නිවන ද අත්ථ නම් වේ. දුම ගින්නක් ඇති බව අවබෝධ කරන්නාක් මෙන් යම් කිසිවක් අවබෝධ කරවන හේතුව ඥාපකහේතු නම් වේ. තථාගතයන් වහන්සේ විසින් දේශිත ත්‍රිපිටක ධර්මය අසන්නවුන්ට නොයෙක් කරුණු අවබෝධ කරවන බැවින් ඥාපකහේතුවකි. පිටකත්‍රය ධර්මය අනුව අවබෝධවන්නා වූ අර්ථයෝ, ත්‍රිපිටක ධර්මය ඇසීමෙන් දැනෙන්නා වූ අවබෝධ වන්නා වූ කරුණු ත්‍රිපිටක ධර්මයාගේ ඵලභාවයෙන් අත්ථ නම් වෙති. අවිද්‍යා තෘෂ්ණා කර්මාදි ප්‍රත්‍යයන් විසින් උපදවන නාමරූපයෝ ය, ආර්‍ය්‍යමාර්ගයෙන් පැමිණෙන නිවනය, ත්‍රිපිටක ධර්මය ඇසීමෙන් දැනෙන කරුණු ය යන මේ අර්ථයන් ප්‍රභේද වශයෙන් දන්නා ඥානය අත්ථපටිසම්භාදාඤාණ නමි. මේ ඤාණය ඇතියහුට හේතූන්ගේ ඵල වන නාමරූප ධර්මයන් විස්තර වශයෙන් දත හැකි ය. අන්‍යයන්ට තේරුම් කර දිය හැකි ය. බුදුරදුන් දේශිත ධර්ම වල අර්ථය ද නො වරදවා තේරුම් කර දිය හැකි ය.

ධම්මපටිසම්භිදා ඤාණ යනු අනේක නාමරූප ධර්මයන් උපදවන්නා වූ අවිද්‍යා තෘෂ්ණා කර්මාදි හේතූන් ද, නිවනට පමුණුවන ආර්යමාර්ගසංඛ්‍යාත සම්පාපක හේතුව ද, කුශලාකුශලාදි අනේක ධර්මයන් අවබෝධ කරවන පිටකත්‍රය සංඛ්‍යාත ඥාපක හේතුව ද, ප්‍රභේද වශයෙන් විස්තර වශයෙන් දන්නා ඥානය ය. එය ඇතියහුට හේතුධර්ම විස්තර වශයෙන් මැනවින් දත හැකි ය. අන්‍යයන්ට අවබෝධ වන පරිදි කිය හැකි ය.

ඉහත දැක්වූ අත්ථපටිසම්භිදා ඤාණයෙන් දත යුතු වන ඵලධර්මයන් පිළිබඳ වූ ද, ධම්මපටිසම්භිදා ඤාණයෙන් දත යුතු වන හේතුධර්මයන් පිළිබඳ වූ ද, ඒ ධර්මයන් හා නියත සම්බන්ධය ඇත්තා වූ ස්වාභාව නිරුක්ති නම් වූ මාගධභාෂාව මැනවින් දන්නා වූ නුවණ නිරුත්තිපටිසම්භිදා ඤාණ නමි. නිරුත්ති පටිසම්භිදා ඤාණය ඇත්තේ, අර්ථධර්මයන් පිළිබඳව වූ මාගධ භාෂා ව්‍යවහාරය දන්නේ ය. “ඵස්සො, වෙදනා” යනාදී ශබ්ද ඇසුණු කල්හි ඔහු ඒවා ස්වාභාව නිරුක්තිය යි දන්නේ ය. “ඵස්සා, වෙදනා” යනාදී වචන ඇසුණ හොත් ඒවා ස්වාභාව නිරුක්ති නොවේ ය යි දන්නේ ය. මේ ශබ්දය නැතහොත් වචන මේ අර්ථය සඳහා ය යි කිසිවකුගේ පැනවීමක් නියම කිරීමක් නැතිව ස්වාභාවයෙන් ඒ ඒ අර්ථයන් හා සම්බන්ධව සිද්ද වචන ස්වාභාව නිරුක්ති නම් වේ. මාගධභාෂාව ස්වාභාව නිරුක්තිය යි කියනු ලැබේ. එය සකල සත්ත්වයන්ගේ ම මූලභාෂාවය යි ද, වෙනස් නො වෙන භාෂාවය යි ද, දේව බ්‍රහ්මයන් බෙහෙවින් ව්‍යවහාර කරන භාෂාවය යි ද කියනු ලැබේ. ඒ නිසා තථාගතයන් වහන්සේ විසින් ස්වභාව නිරුක්තිය වූ මාගධභාෂාවෙන් ත්‍රිපිටකධර්මය තබන ලද්දේය යි ද දේශනය කරන ලද්දේය යි ද කියා තිබේ. නිරුත්තිපටිසම්භිදා ඤාණය ලබා ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයන්ට මාගධභාෂාවෙන් දේශිත ධර්ම වෙහෙසක් නැතිව අවබෝධ වන්නේ ය.

අත්තපටිසම්භිදා ධම්මපටිසම්භිදා - නිරුත්තිපටිසම්භිදා යන ඥානත්‍රය මැනවින් දන්නා වූ ඥානය පටිභානපටිසම්භිදා ඤාණ නමි. පටිභානපටිසම්භිදා ඤාණය ඇති කල්හි පැමිණෙන කරුණු අනුව ඉහත කී ඥානත්‍රය යොදා ක්‍රියා කළ හැකි ය. ඉහත කී ඥානයන්ගෙන් දැනගන්නා ධර්ම උපමා හේතු උදාහරණ සහිතව මැනවින් විස්තර කළ හැකි ය. විභාග කළ හැකි ය. විභංගපාළියෙහි පටිසම්භිදාඤාණයන් මෙසේ දක්වා ඇත්තේ ය.

“අත්ථෙ ඤාණං අත්ථපටිසම්භිදා, ධම්මේ ඤාණං ධම්මපටිසම්භිදා, තත්‍ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.

ඉධ භික්ඛු ධම්මං ජානාති, සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාකතං අබ්භුතධම්මං වෙදල්ලං, අයං වුච්චති ධම්මපටිසම්භිදා, යො තස්ස තස්සෙව භාසිතස්ස අත්ථං ජානාති, අයං ඉමස්ස භාසිතස්ස අත්ථො, අයං ඉමස්ස භාසිතස්ස අත්ථොති අයං වුච්චති අත්ථපටිසම්භිදා, තත්‍ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණේසු ඤාණං පටිභාන පටිසම්භිදා”

ප්‍රතිසංවිත්ඥාන පෘථග්ජනයන්ට නො ලැබෙන ආර්‍ය්‍යයන්ට පමණක් ආර්‍ය්‍යමාර්ගානුභාවයෙන් ලැබෙන ඥාන විශේෂයෙකි. පටිසම්භිදාලාභී පෘථග්ජනයෝ නැතහ. පටිසම්භිදාවට නො පැමිණි ආර්‍ය්‍යයෝ ද නැතහ. එහෙත් ආර්‍ය්‍යඵලයට පැමිණීමෙන් ලැබෙන පටිසම්භිදාඤාණ සියලු ම ආර්‍ය්‍යයන්ට ප්‍රබෝධ වන්නේ නො වේ. එය දියුණු වූවෝ පටිසම්භිදාපත්ත යන විශේෂනාමයෙන් හඳුන්වනු ලැබෙත්. පටිසම්භිදාපත්ත යන නාමයෙන් හඳුන්වන ආර්‍ය්‍යයෝ බුද්ධකාලයෙහි ද සුලභ නො වූහ. ඇතැම් ආර්‍ය්‍යයන් හට ශෛක්ෂ කාලයේදී ම ද පටිසම්භිදාඤාණය ප්‍රබෝධ වේ. දියුණු වේ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ, චිත්‍ර ගෘහපති, ධම්මික උපාසක, උපාලි ගෘහපති, ඛුජ්ජුත්තරා යන අයට ශෛක්ෂකාලයේදී ම පටිසම්භිදාව දියුණු විය. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, මුගලන් තෙරුන් වහන්සේ , මහකසුප් තෙරුන් වහන්සේ, මහාකච්චායන තෙරුන් වහන්සේ, මහාකොට්ඨීත තෙරුන් වහන්සේ අතුළු මහාශ්‍රාවකයන් වහන්සේලාට රහත් වීමෙන් පටිසම්භිදාඤාණය ප්‍රබෝධ විය. ඉන්ද්‍රියපරෝපරියත්තඤාණය, ආසයානුසයඤාණය යන බුද්ධඤාණ දෙක සම්මාසම්බුද්ධගුණය වර්ණනාවෙහි විස්තර කරන ලදී.

යමකප්‍රාතිහාර්ය්‍ය ඥානය

එකවර ප්‍රාතිහාර්‍ය්‍ය දෙකක් දක්වන ඥානය යමක ප්‍රතිහාර්ය්‍ය ඥාන නම් වේ. එය ශ්‍රාවකයන් විසින් නො ලැබිය හැකි ලොව්තුරා බුදුවරුන්ට පමණක් ලැබෙන විශේෂ ඥානයෙකි. ප්‍රාතිහාර්ය්‍ය කිරීම දුෂ්කර වැඩකි. එය රහතුන්ට අර්හත්වයේ අනුහසින් කළ හැකියක් නො වේ. රහත්වීමේ මාර්ගය අනිකකි. ප්‍රාතිහාර්ය්‍ය කිරීමේ මාර්ගයක් අනිකකි. එබැවින් සියලු රහත්හු ප්‍රාතිහාර්ය්‍ය කරණයට සමත් නො වෙති. ධ්‍යානලාභීවූ ඇතැම් පෘථග්ජනයෝද ප්‍රාතිහාර්ය්‍ය කිරීමට සමත් වෙති. ධ්‍යාන ලැබූ තරමින් ම ද ප්‍රාතිහාර්ය්‍ය නො කළ හැකිය. ප්‍රාතිහාර්ය්‍ය කළ හැකි වීමට පළමුවෙන් අෂ්ටසමාපත්ති උපදවා ඒවා නැවත තුදුස් ආකාරයකින් පුරුදු කළ යුතු ය. ඍද්ධි ප්‍රාතිහාර්ය්‍ය කළ හැකි තත්ත්වයට සමාපත්ති දියුණු කර ගත් පුද්ගලයෝම ඒවා කිරීමට සමත් වෙති. ප්‍රාතිහාර්ය්‍ය කරන්නේ තුදුස් ආකාරයෙන් පුරුදු කොට දියුණු කර ගත් රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයේ බලයෙනි. එසේ දියුණු කළ පඤ්චමධ්‍යාන චිත්තය අභිඥා චිත්ත නම් වේ. යමක ප්‍රාතිහාර්ය්‍ය ඤාණය යි කියනුයේ ලොව්තුරා බුදුවරුන්ගේ අභිඥාචිත්තසම්ප්‍රයුක්ත ඥානයට ය. අභිඥාලාභියකුට “මෙබඳු දෙයක් වේවා”යි නිකම්ම සිතීම් මාත්‍රයෙන් යම් කිසි ප්‍රාතිහාර්‍ය්‍යක් නොකළ හැකි ය. ඒ ඒ ප්‍රාතිහාර්‍ය්‍යන් කිරීමට ද වෙන වෙන ම පුරුදු කළ යුතු ය. යම් කිසි ප්‍රාතිහාර්‍ය්‍යක් කිරීමට වුවමනා ඒ ඒ කරුණ සිදු කිරීමට කසිණයෙක්හි පඤ්චමධ්‍යානයට සමවැදිය යුතු ය. පඨවිකසිණ සමාපත්තියෙන් ගින්නක් හෝ දියක් ඇති කළ නො හැකි ය. ගින්නක් මැවීමට නම් එයට නිසි තේජෝකසිණපඤ්චමධ්‍යානයට සමවැදිය යුතු ය. මෙසේ ඒ ඒ ප්‍රාතිහාර්‍ය්‍යය කිරීමේ දී ඒ ඒ දෙයට නිසි සමවතකට සමවැදී ඉන් නැඟීමට අධිෂ්ඨාන චිත්තයට බලය ගත යුතු ය.

ඉක්බිති තමා කරන්නට යන ප්‍රාතිහාර්‍ය්‍යය සිතින් සලකා මෙනම් දෙයක් වේවා යි පරිකර්ම කළ යුතු ය. එසේ කරන කල්හි බලාපොරොත්තු වන දෙය සිදු කරන අභිඥභාවයට පැමිණි රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තය නැවත ඇති වේ. ඒ සිත ඇතිවෙනු සමඟ අදහස් කළ දෙය නිර්මාණය වේ. ධ්‍යානයෙහි වශී භාවය මඳ පුද්ගලයන්ට යම් කිසි ප්‍රාතිහාර්‍ය්‍යයක් කිරීමට බොහෝ කල් ගතවේ. වශීභාවය වැඩි පමණට ඉක්මනින් ප්‍රාතිහාර්‍ය්‍යය කළ හැකිය. තථාගතයන් වහන්සේට සමාපත්ති විෂයෙහි අධික වශීභාවයක් ඇති බැවින් ඉතා ඉක්මනින් ප්‍රාතිහාර්‍ය්‍යය කළ හැකිය. ධ්‍යානයන්හි අතිශය වශීභාවයක් ඇත්තා වූ තථාගතයන් වහන්සේ ඉතා වේගයෙන් ඒ ඒ සමවත්වලට සමවැදීම නැගිටීම අධිෂ්ඨාන කිරීම කළ හැකි නිසා ශරීරයේ එක් තැනකින් ජල ධාරාවක් පිට කරමින් ම අන් නැනකින් ගිනි කඳන් පිට කළ හැකි ය. එය යමකප්‍රාතිහාර්‍ය්‍ය ය. එය කළ හැකි නුවණ යමකප්‍රාතිහාර්‍ය්‍යයඥානය යි.

මහාකරුණාසමාපත්ති ඥානය.

කරුණාගුණය බුද්ධගුණ වලින් ඉතා මහත් වූ ද, උසස් වූ ද ගුණයෙකි. බුදුබැව්හි පදනම ද කරුණා ගුණය ය. එය පිළිබඳ සෑහෙන විස්තරයක් කළ හැක්කේ එය ගැන ම විශාල ග්‍රන්ථයක් සම්පාදනය කළ හොත් ය. රත්නත්‍රයේ සියලු ගුණ දැක්වීම සඳහා සපයන මේ ග්‍රන්ථයෙන් කළ හැක්කේ ඒ මහත් වූ ගුණය ඉතා කොටින් දැක්වීමකි.

දුඃඛිත සත්ත්වයන් ගැන කම්පාවන ඔවුන්ගේ දුක් නො ඉවසන ස්වාභාවය, දුඃඛිතයන් දුකින් මිදවීමේ කැමැත්ත කරුණා නම් වේ. තථාගතයන් වහන්සේගේ කරුණාව ඉතා මහත්ය. එබැවින් එයට මහා කරුණාව යයි කියනු ලැබේ. ඒ කරුණාව මහත් වන්නේ කෙසේ ද? යනු මෙහි ලා දත යුතු ප්‍රධාන කරුණ ය. කරුණාව සැම දෙනා තුළම ඒ ඒ ප්‍රමාණයෙන් ඇති වන චෛතසික ධර්මයෙකි. මා පියෝ කරුණාවත්හු ය යි ප්‍රසිද්ධයහ. ඔවුන්ගේ ඒ කරුණාව තමන්ගේ දරුවන්ට පමණක් සීමා වූවකි. තමන්ගේ දරුවන්ට මෙන් අන්‍යයන්ගේ දරුවන්ට මාපියන්ගේ කරුණාවක් නැත. මාපිය යුවලට දරුවන් ඇත්තේ ටික දෙනෙකි. ටිකදෙනෙකු සම්බන්ධයෙන් ඇති කරුණාව සුළු දෙයකි. තථාගතයන් වහන්සේගේ කරුණාව සකල සත්ත්වයන් ගැන මය. ලෝකයෙහි අනන්ත සත්ත්වයෝ ඇතහ. සත්ත්වයන් අනන්ත බැවින් ඒ අනන්ත සත්ත්වයන් අනුව තථාගතයන් වහන්සේගේ කරුණාව අනන්තය. තථාගතයන් වහන්සේගේ කරුණාව හා මවු කෙනකුගේ පිය කෙනෙකුගේ කරුණාව සංසන්දනය කරන්නට උපමාවකුදු නැති තරම් ය. තථාගතයන් වහන්සේගේ මහාකරුණාව සාගර ජලයටත් මවුකෙනෙකුගේ කරුණාව එක දිය බිඳකටත් උපමා කළ ද උපමාව යහපත් නොවේ. තථාගතයන් වහන්සේගේ කරුණාව මහ පොළොවට ද මවු කෙනෙකුගේ කරුණාව වැලි කැටයකට ද උපමා කළත් උපමාව සුදුසු නැත. සාගර ජලයෙහිත් පොළොවෙහිත් ප්‍රමාණයක් ඇත. අනන්ත කරුණාව ඒවාට උපමා කිරීම ඒ කරුණාව සුළු කොට දැක්වීමකි.

එක් එක් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇත්තා වූ කරුණාවෙහි කුඩා - මහත් බව ප්‍රමාණ කළ යුත්තේ කරුණාවට ලක්වන පුද්ගලයා සුවපත් කිරීම සඳහා කළ හැකි පරිත්‍යාගයන් අනුව ය. මැරෙන්නට යන දරුවකු බේරා ගැනීම සඳහා මවු කෙනකු විසින් තමාට ඇතිතාක් ධනය වුවද පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වනු ඇත. එහෙත් තමා වාසය කරන ගෙය හා ඉඩමත් ඒ සඳහා පරිත්‍යාග කරන්නට කියුව හොත් දරුවා මැරෙන්න හරිනවා මිස එය කිරීමට ඉදිරිපත් නො වනු ඇත. තථාගතයන් වහන්සේ සත්ත්ව කරුණාව නිසා නො කළ පරිත්‍යාගයක් නැත. ලොවුතුරා බුදුබව ලැබ අසරණ සත්ත්වයන්ට පිහිට වනු සඳහා බෝසත් කාලයේ දී උන් වහන්සේ විසින් කරණ ලද ධන පරිත්‍යාගයට උපමා නැත.

“සො සාගරෙ ජලධිකං රුධිරං අදාසි
භූමිං පරාජිය සමංසමදාසි දානං
මෙරුප්පමාණමධිකඤ්ච සමොලිසීසං
ඛෙ තාරකාධිකතරං නයනං අදාසිං”

යනුවෙන් අප මහා බෝසතාණන් වහන්සේ අසරණ සත්ත්වයන්ට පිහිට වනු පිණිස දානපාරමිතාව පිරීම් වශයෙන් සාගරජලය පරදවා තමන්ගේ සිරුරෙන් ලේ දුන් බව ද, මහපොළව පරදවා ඇඟමස් දුන් බව ද, මහමෙර පරදවා ඔටුණු පලන් හිස් දුන් බව ද, අහසේ තරු පරදවා නෙත් දුන් බව ද, කියා තිබේ. අන්‍යයන් සඳහා තථාගතයන් වහන්සේට මෙබඳු මහා පරිත්‍යාගයක් කළ හැකි වූයේ කරුණාවෙහි මහත්වය නිසා ය. මේ කාරණය අනුව සලකා බැලුව ද මාපියාදි සෙස්සන්ගේ කරුණාව ඉතා සුළු ය. බුද්ධකරුණාව ම ඉතා මහත් ය.

කරුණාව දුඃඛිත සත්ත්වයන් අරමුණු කොට ඇති වන ධර්මයෙකි. සත්ත්වයන්ගේ දුක් දත හැකි වීමට නුවණ තිබිය යුතු ය. නුවණ මඳ අයට දැනෙන්නේ සත්ත්වයන්ගේ දුක් වලින් ඉතා සුළු කොටසකි. සුගති වශයෙන් සලකන මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි වෙසෙන සකල සත්ත්වයෝ ම දුඃඛිතයෝ ය. සර්වාකාරයෙන් සුඛිත සත්ත්වයෙක් භවත්‍රයෙහි කොතැනකවත් නැත්තේ ය. තථාගතයන් වහන්සේගේ කරුණාව සකල සත්ත්වයන් සම්බන්ධයෙන් පවත්නේ ඒ නිසා ය. ධනය ඇතිව අඹුදරුවන් ඇතිව නෑ මිතුරන් ඇතිව සේවකයන් ඇතිව වුවමනා තරම් ආහාරපාන වස්ත්‍රයානවාහනාදිය ඇතිව ගරු බුහුමන් ඇතිව නිරෝගීව ජීවත් වන අය සාමාන්‍ය ලෝකයාට පෙනෙන්නේ සුඛිතයන් ලෙස ය. සාමාන්‍ය ජනයා විසින් දේව බ්‍රහ්මයන් සලකන්නේ පරම සුඛිතයන් ලෙස ය. ඔවුන්ට ඇත්තා වූ මහාදුඃඛස්කන්ධය දැකිය හැකි තරමේ නුවණක් සාමාන්‍ය ජනයාට නැත. සුඛිතයන් වශයෙන් සලකන ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයාට කරුණාවක් ඇති නොවේ. ඔවුන් සම්බන්ධයෙන් ඇති වෙතොත් ඇති වන්නේ ඊර්ෂ්‍යාව හෝ මුදිතාව ය. තථාගතයන් වහන්සේගේ නුවණට ඔවුන්ට ඇත්තා වූ මහාදුඃඛස්කන්ධය පෙනෙන බැවින් සකල සත්ත්වයන් ගැන ම උන් වහන්සේට කරුණාව ඇති වේ. එක් එක් සත්ත්වයකුට ඇති මහත් වූ දුක්ඛස්කන්ධයක් පෙනෙන බැවින් එක් එක් සත්ත්වයකු සම්බන්ධයෙන් ම මහත් වූ කරුණාවක් තථාගතයන් වහන්සේට ඇති වේ. ඒ කරුණාව දුක් දන්නා නුවණ අනුව ඇති වන බැවින් නුවණ පමණට ම තථාගතයන් වහන්සේගේ කරුණාවද මහත් වන්නේ ය. තථාගතයන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ දුක් එකුන්අනූ අයුරකින් දක්නා බව පටිසම්භිදාමග්ගයේ දක්වා තිබේ. ඒ ඒ ආකාරයෙන් සත්ත්වයන්ගේ දුක් බලා උන් වහන්සේ මහා කරුණාසමාපත්තියට සමවදිති. මහාකරුණාසමාපත්තිය යනු දුඃඛිත සත්ත්වයන් අරමුණු කරන කරුණාධ්‍යානය ය. අනේකාකාරයෙන් දුක් දන්නා වූ කරුණාධ්‍යානයට හේතු වන ඥානයන් කරුණාධ්‍යාන චිත්තසම්ප්‍රයුත්ත ඥානයත් මහාකරුණාසමාපත්තිඥානය ය.

තමන් වහන්සේගේ විමුක්තිය සඳහා කළ යුතු සියල්ල නිමවා සිටින්නා වූ අනේක සමාපත්තිලාභී වූ භාග්‍යවතුන් වහන්සේට ලෝකය ගැන සෙවීමක් නො කොට ධ්‍යානසමාපත්ති ඵලසමාපත්ති නිරෝධසමාපත්ති සුඛයන් රිසි සේ වළඳමින් එක් තැනකට වී බ්‍රහ්මරාජයකු සේ කල් යැවිය හැකි ය. තමන් වහන්සේ කෙරෙහි පැවති මහා කරුණාව නිසා තථාගතයන් වහන්සේ ආත්මාර්ථය පමණක් සලකා ගෙන නො සිට පරහිත කරණයෙහි නිරත වූහ. උන් වහන්සේ ජනයාට සෙත සලසනු පිණිස වර්ෂයකට සාරමස පස්මස සමස සත්මස අටමස බැගින් දනව් සැරිසරා වැඩම කළහ. ඇතැම් වර්ෂවල නව මසක් ම දනව් සැරිසරා වැඩම කළහ. මහාමණ්ඩලය මධ්‍යමණ්ඩලය අන්තෝමණ්ඩලයයි තථාගතයන් වහන්සේ දනව් සැරිසරා වඩනා මාර්ග තුනක් ඇත්තේ ය. ඉන් මහාමණ්ඩලය යොදුන් නවසියයකි. මධ්‍යමණ්ඩලය යොදුන් සසියයකි. අන්තෝමණ්ඩලය යොදුන් තුන්සියයකි. තථාගතයන් වහන්සේ ජනයාට අනුග්‍රහ කරමින් ඒ මාර්ගවල දිනකට යොදුන අඩ යොදුන බැගින් ගමන් කළ සේක.

ජනානුග්‍රහයේ දී තථාගතයන් වහන්සේට සතුරු මිතුරු වෙනසක් නැත. උන් වහන්සේ සතුරන්ට ද අනුකම්පා කරන්නාහ. බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන අවස්ථාවක උන් වහන්සේ මැරීම සඳහා දෙව්දත් දුනුවායකු යැවීය. ඔහු බුදුරදුන් විඳිනු පිණිස ඊය දුන්නෙහි තබා දුනුදිය ඇද්දේ ය. බුදුරදුන්ගේ ජීවිතය කවරකුටත් උපක්‍රමයකින් නැසිය නො හැකි ය. බුද්ධශරීරය උන් වහන්සේ නො කැමැත්තෙන් තුවාල කළ නො හැකිය. දුනුදිය ඇද්දා මිස දුනුවායාට එය නො හළ හැකි විය. ඔවුන්ගේ ශරීරය ගල් ගැසුණේ ය. යන්ත්‍රයක් ලා අඹරන කලෙක මෙන් ඔහුගේ ශරීරයෙහි දුඃඛවේදනා හටගති. ඔහුට මහා භයක් ඇති විය. තථාගතයන් වහන්සේ ඔහු දැක කාරුණික මවක් දරුවකු අමතන්නාක් මෙන් “බිය නො වෙව, මෙහි එව”යි මෘදු ලෙස අමතා වදාළහ.

එකල්හි ධනුර්ධරයා ආයුධ ඉවත දමා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වැඳ වැටී “ස්වාමීනි, නො දැනීම නිසා මා අතින් වරදක් සිදුවිය. මෝඩ වූ මම නුඹ වහන්සේගේ ගුණ නො දැන දෙව්දත්ගේ කීමට නුඹ වහන්සේ මරන්නට ආමි. ස්වාමීනි, මට ක්ෂමා වුව මැනව”යි කියා සමීපයෙහි වාඩි විය. සතුරාට ද නො වෙනස්ව අනුකම්පා කරන්නා වූ මහාකාරුණිකයන් වහන්සේ ධර්මදේශනයෙන් ඔහු සෝවාන් ඵලයෙහි පිහිටවා “දේවදත්ත කී මඟින් නො ගොස් අන් මඟකින් යව”යි කියා ඔහු පිටත් කළහ. තථාගතයන් වහන්සේ මැරීම සැඟවීම පිණිස, බුදුනට විද එන ධනුර්ධරයා විද මැරීම සඳහා දෙව්දත් විසින් නවත්වන ලද ධනුර්ධරයන් දෙදෙනෙක් ඔහු එනු බලා මඟරැක සිටියෝ ය. බුදුන් වහන්සේ ඔහුට අන් මඟකින් යන්නය යි වදාළේ ඒ නිසා ය. මහාකාරුණිකයන් වහන්සේ තමන් මරන්නට ආ සතුරාගේ ජීවිතය රැක දුන්හ. බෝසත් කාලයේදී ද උන්වහන්සේ නොයෙක් වර සතුරන්ට යහපත සිදු කර ඇත්තේ ය.

මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ දිනකට දෙවරක් මහා කරුණාසමාප්තියෙන් නැඟී ලොව බලා වදාරන්නාහ. අලුයම චක්‍රවාටාන්තයේ පටන් ගඳකිලි දොරකඩ දක්වා නුවණ පතුරවා ලොව බලන සේක. සවස් කාලයේ ගඳකිළි දොරකඩ පටන් චක්‍රවාටාන්තය දක්වා ලොව බලා වදාරන්නාහ. එසේ බලා වදාරා ඒ ඒ දිනයෙහි උපකාර කළ හැකි පුද්ගලයන්ට කොතෙක් දුර වුව ද ගොස් උන් වහන්සේ උපකාර කරන සේක.

පූතිගත්ත තිස්ස තෙරණුවෝ

සැවැත්නුවර වැසි එක් කුලපුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා බුදුසස්නෙහි පැවිදිව උපසම්පදාවද ලබා විසුයේය. ඒ ස්ථවිරතුමා තිස්ස ස්ථවිර නම් විය. පසු කලෙක ඒ ස්ථවිරතුමා රෝගාතුර විය. එතුමාගේ ශරීරයෙහි කුඩා බිබිලි සෑදී ක්‍රමයෙන් ඒවා නෙල්ලිගෙඩි, දෙහිගෙඩි, දොඩම්ගෙඩි, බෙලිගෙඩි පමණ මහත් වී පැසව පැසවා පුපුරන්නට විය. කාරුණික භික්ෂූහු ආහාර බෙහෙත් සපයා දීමෙන් ද සිවුරු හා වාසස්ථානය පවිත්‍ර කිරීමෙන් ද තිස්ස ස්ථවිරයන්ට උපස්ථාන කළහ. කල් යාමෙන් මුළු සිරුර ම කුණු වී ගියෙන් තිස්ස ස්ථවිරතුමාගේ නම ද වෙනස් විය. ශරීරය කුණු වී ඇති බැවින් එතුමා පූතිගත්තතිස්ස යන නමින් හඳුන්වන්නට විය. භික්ෂූන් වහන්සේලා කොතෙක් උපස්ථාන කළ ද රෝගය මඳකුදු අඩු කළ නො හැකි විය. කල්යාමයේ දී එතුමාගේ ශරීරයේ ඇට ද බිඳෙන්නට විය. ඇට බිඳීමෙන් තිස්ස තෙරණුවන්ට නැඟිටින්නට වාඩි වන්නට තබා හැරෙන්න පෙරළෙන්නට ද නො පිළිවන් විය. අධික දුර්ගන්ධය නිසා කෙනෙකුට ළං නො විය හැකි විය. උපස්ථාන නො කළ හැකි තත්ත්වයට පැමිණි බැවින් උපස්ථායක භික්ෂුහූ අත්හැර දැමූහ. තිස්ස ස්ථවිර ලේ සැරව ගොඩේ අනාථව සයනය කළේය. තථාගතයන් වහන්සේ ලොව බලා වදාරන සේක්:- අනාථව ශයනය කරන තිස්ස ස්ථවිර දුටු සේක. උන් වහන්සේ දැන් මා හැර මේ භික්ෂුවට අන් පිහිටක් නැත ය යි ගඳකිළියෙන් නික්ම විහාර චාරිකාවෙහි හැසිරෙන සේක්, ගිනිහල් ගෙට වැඩම කොට වතුර සැළියක් ලිප තබා එය හුණු වන තුරු එහි ම වැඩ සිට වතුර හුණු වූ පසු රෝගී භික්ෂුව වෙත වැඩම කොට ඒ භික්ෂුව ඇඳත් සමඟ ඔසවා ගිනිහල්ගෙට ගෙන එනු පිණිස ඇඳේ පසකට අත තැබූහ. එකල්හි භික්ෂූහු “අපි ගෙන යන්නෙමු”යි තථාගතයන් වහන්සේ ඉවත් වන්නට කියා ඇඳ ඔසවා ගිනිහල්ගෙට රෝගී භික්ෂුව ගෙන ගියහ. ඉක්බිති තථාගතයන් වහන්සේ රෝගී භික්ෂුවගේ අපවිත්‍රව තිබූ සිවුර සෝදවා භික්ෂුව උණු දියෙන් සියතින් ම නහවා පිරිසිදු කොට සේදූ සිවුරු පෙරවූහ. රෝගී භික්ෂුවට එයින් මහත් සැනසිල්ලක් ලැබී සිත එකඟ කර ගත හැකි විය.

එකල්හි තථාගතයන් වහන්සේ භික්ෂුවගේ හිස සමීපයෙහි සිට ධර්මදේශනා කළහ. දේශනාවසානයෙහි සියල්ලන් විසින් හැර දමා සිටි පූතිගත්ත තිස්ස තෙරණුවෝ සව් කෙලෙසුන් නසා අර්හත්ඵලයට පැමිණියහ. එක් වරෙක සැලකීමට කෙනකු නැතිව සිටි උදරාබාධයකින් පෙළුණු භික්ෂුවකට ද තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග ගොස් උණු පැනින් නහවා උපස්ථාන කළ බව ද විනය පිටකයෙහි මහාවග්ගපාළියේ සඳහන්ව ඇත්තේ ය.

සෝපාක දරුවාට අනුග්‍රහ කිරීම

සෝපාක රහත් වීමට නිසි පින් ඇති දරුවෙකි. එහෙත් අන්තිම ජාතියේ උපන්නේ රජගහ නුවර පහත් කුලයක ය. ඉපද සාරමසකින් ඔහුගේ පියා මළේය. ඉන් පසු සුළු පියා ඔහු පෝෂණය කළේය. ඔහු සත් හවුරුදු වයසට පැමිණි පසු දිනක් සුළු පියා ඔහුගේ දරුවන් හා කෝලාහල කළේය යි කිපී සෝපාක අමුසොහොනකට ගෙන ගොස් දෙ අත් එක් කොට තදින් බැඳ “මූ හිවලුන් විසින් කා දමනු ලබේවා”යි ඒ රැහැනින් ම මළමිනියක බැන්ඳේ ය. පශ්චිමභවිකයන් නො මැරිය හැකි ය. එබැවින් සතුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගෙන් හෝ ඔහුට පීඩාවක් නො වීය. මධ්‍යම රාත්‍රියේ ඔහු විලාප කියමින් හැඬී ය. එවේලෙහි තථාගතයන් වහන්සේ ලොව බලා වදාරන සේක්, ඔහු දැක විහාරයෙහි සිට ම ආලෝකය යවා ඔහුට පෙනී සිට:-

“එහි සොපාක මා භායි - ඔලොකස්සු තථාගතං
අහං තං තාරයිස්සාමි - රාහුමුඛෙව චන්දිමං”

යන ගය වදාළ සේක. සෝපාක සෝවාන් ඵලයට පැමිණ එකෙණෙහි බුද්ධානුභාවයෙන් බන්ධනයෙන් මිදී තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන ගඳකිළිය ඉදිරියට පැමිණියේ ය. සෝපාකගේ මව පසු දින ඔහු නො දැක ඔහු ගැන කිසි තොරතුරක් සුළු පියාගෙන් ද දැන ගන්නට නො ලැබී දරුවා සොයා ඇවිදින්නී බුදුරදුන් වෙත පැමිණ උන් වහන්සේගෙන් දරුවා ගැන විමසුවා ය. තථාගතයන් වහන්සේ ඍද්ධිබලයෙන් දරුවා නො පෙනෙන පරිදි කොට ඇයට දහම් දෙසූහ. ඕ තොමෝ දහම් අසා සෝවාන් ඵලයට පැමිණියා ය. සෝපාක එය අසා අර්හත්වයට පැමිණියේය. ඉක්බිති තථාගතයන් වහන්සේ ඍද්ධිය ඉවත් කළ සේක. මව දරුවා දැක ඉමහත් සොම්නසට පැමිණ සෝපාක අර්හත්වයට පැමිණ සිටිනු අසා තථාගතයන් වහන්සේ සමීපයෙහි පැවිදි කරවා ගියා හ. භාග්‍යවතුන් වහන්සේ ඒ සත් හැවිරිදි සාමණේර නමගෙන් “එක නාම කිං” යනාදීන් ප්‍රශ්න දශයක් අසා වදාරා ඒවාට පිළිතුරු දීමෙන් පසු කුඩා සාමණේර නමට උපසම්පදාව දුන් සේක.

සර්වඥතාඥානය

“සබ්බං සංඛතමසංඛතං අනවසෙසං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං” යනුවෙන් පටිසම්භිදාමග්ගයෙහි දක්වා ඇති පරිදි සංඛත වූද අසංඛත වූ ද සකල ධර්ම සමූහය නිරවශේෂයෙන් දන්නා ඥානය සර්වඥතාඥානය ය. එය ලොවුතුරා බුදුනට අර්හත්මාර්ගචිත්තය ඇති වීමෙන් ම ලැබෙන විශේෂ ඥානයෙකි. අර්හත්මාර්ග චිත්තය ශ්‍රාවකයෝ ද ලබති. එහෙත් ඔවුනට සර්වඥතා ඥානය නො ලැබේ. බුදුවරුන්ගේ අර්හන්මාර්ගචිත්තයෙහි ඇති විශේෂය එහි ඇති වීමෙන් සර්වඥතාඥානාදි සකල බුද්ධගුණයන් ද ලැබීම ය. සංඛත යනු ප්‍රත්‍යයෙන් හටගන්නා නාමරූප ධර්මයෝ ය. රූප වේදනා සංඥා සංකාර විඥාන යන පඤ්චස්කන්ධය සංඛත ය. ඒවාට සංස්කාරයෝ ය යි ද කියනු ලැබේ. ප්‍රත්‍යයන්ගෙන් හටගැනීමක් නැතිව ඇත්තා වූ නිර්වාණය හා ප්‍රඥප්තීහු අසංඛතයෝ ය. ලෝකයෙහි යමක් ඇති නම් ඒ සියල්ලම සංඛත අසංඛත දෙපක්ෂයෙන් එකකට අයත් වන්නේ ය. සර්වඥතාඥානයට ඒ සියල්ල ම දැනෙන්නේ ය. ඒවා යම්තරමකට දැනෙනවා නොව ඒ ඒ ධර්මයට අයත් වෙන් වෙන් වූ ලක්ෂණයන්ගේ වශයෙන් ද අනිත්‍යාදි සාමාන්‍ය ලක්ෂණ වශයෙන් ද දැනෙන්නේ ය. නිවන ද සුඤ්ඤතාදි වශයෙන් අනේකාකාරයෙන් දැනෙන්නේ ය. ප්‍රඥප්තීන් ප්‍රඥප්ති වශයෙන් දැනෙන්නේ ය.

“නත්ථී තස්ස භගවතො අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සං පඤ්ඤාය, අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති, යං කිඤ්චි නෙය්‍යං නාම අත්ථි තං සබ්බං ජානිතබ්බං, අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො ගම්භීරො වා අත්ථො ගුළ්හො වා අත්ථො පටිච්ඡන්නො වා අත්ථො නෙය්‍යො වා අත්ථො නීතො වා අත්ථො අනවජ්ජො වා අත්ථො, නික්කෙලෙසො වා අත්ථො වොදානො වා අත්ථො, පරමත්ථො වා අත්ථො සබ්බං තං අන්තො බුද්ධඤාණෙ පරිවත්තති.

(පටිසම්භිදා මග්ග)

තේරුම:-

පාරමිතා පුණ්‍යබලයෙන් ඇති වූ අර්හත්මාර්ගඥානයෙන් සකල ධර්මවිෂයෙහි පැවති සම්මෝහය දුරු කළා වූ ඒ භාග්‍යවතුන් වහන්සේට නො දන්නා ලද්දක් නො දක්නා ලද්දක් ඥානයෙන් නො පැමිණෙන ලද්දක් ප්‍රත්‍යක්ෂ නො කරන ලද්දක් ප්‍රඥාවෙන් ස්පර්ශ නො කරන ලද්දක් නැත. අතීත වූ ද අනාගත වූ ද වර්තමාන වූ ද සකල ධර්මයෝ සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥානාභිමුඛයට පැමිණෙති. ආත්මාර්ථ වූ ද පරාර්ථ වූ ද උභයාර්ථ වූ ද දෘෂ්ඨධාර්මිකාර්ථ වූ ද සාම්පරායිකාර්ථ වූ ද උත්තානාර්ථ වූ ද ගම්භීරාර්ථ වූ ද ගූඨාර්ථ වූ ද ප්‍රතිච්ඡන්නාර්ථ වූ ද නෙය්‍යාර්ථ වූ ද නීතාර්ථ වූ ද නිරවද්‍යාර්ථ වූ ද නික්ලේශාර්ථ වූ ද පරිශුද්ධාර්ථ වූ ද පරමාර්ථ වූ ද යම් දතයුත්තක් වේ නම් ඒ සියල්ල බුදුන් වහන්සේ ගේ ඥාන තුළ ඒ ඥානයට හසුව පවත්නේ ය.

“අතීතේ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, අනාගතෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, පච්චුප්පන්නෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, යාවතකං නෙය්‍යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං තාවතකං නෙය්‍යං, නෙය්‍යපරියන්තිකං ඤාණං ඤාණපරියත්තිකං නෙය්‍යං, නෙය්‍යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා නෙය්‍යපථො නත්ථී, අඤ්ඤමඤ්ඤ පරියන්තට්ඨායිනො තෙ ධම්මා.”

(පටිසම්භිදා මග්ග)

තේරුම:-

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥානය අතීතයට යවන කල්හි එහි සැපෙන පැකිළෙන තැනක් නැත. අනාගතයට යවන කල්හි එහි සැපෙන පැකිළෙන පවතින තැනක් නැත. වර්තමානයෙහි ද භාග්‍යවත් බුදුරජණන් වහන්සේගේ නුවණ ඉදිරියට අසමර්ථ වී සැපෙන තැනක් නැත. දතයුත්ත යම් පමණ ද භාග්‍යවතුන් වහන්සේගේ ඥානය එපමණ වන්නේ ය. ඥානය යම් පමණ ද දතයුත්ත ද එපමණ ම වන්නේ ය. දතයුත්ත ඉක්මවා ඥානය නො පවතී. ඥානය ඉක්මවා දතයුතු දෑ නැත. ඥානය දතයුත්ත යන මේ දෙක ඔවුනොවුන් කෙළවර කොට පවත්නේ ය.

“යාවතා සදේවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා. තං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං”

(පටිසම්භිදා)

තේරුම:-

“දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයා විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිසුන් සහිතව සත්ත්ව සමූහයා විසින් දක්නා ලද අසන ලද ඝ්‍රාණ ජිව්හා කාය විඥානයන් කරණකොට ගන්නා ලද මනෝද්වාරයෙන් ගන්නා ලද පැමිණෙන ලද සොයන ලද සිත හසුරවන ලද යමක් වේ ද, යම් ඥානයක් වේද ඒ සියල්ල දනී ද, ඒ ඥානය සර්වඥතාඥානය ”ය.

ඒ පාඨයේ අදහස මේ සත්ත්වයා මේ පුද්ගලයා රූපාදි ආරම්මණයන් අතුරෙන් මෙනම් අරමුණක් දැක මෙනම් අරමුණක් දැන දැන් සතුටෙන් හෝ නො සතුටින් හෝ මැදහත්ව සිටින්නේ ය. මොහු මෙබඳු කල්පනාවකින් සිටින්නේ ය. මොහුගේ සිත මෙසේ ය, මොහුගේ සිත මේනම් දෙයක පවත්නේ ය කියා අනන්තලෝකධාතුවල වෙසෙන සත්ත්වයන් ගැන හා ඔවුන්ගේ සිත්වලට අරමුණු වන සියල්ල ද දන්නා ඥානය සර්වඥතාඥානය යනු යි.

ලෝකය ඉතා විශාලය. ලෝකධාතූහු ම අනන්තය හ. එක් එක් ලෝකධාතුවෙක ඇති සත්ත්වසංස්කාරයෝ ඉතා බොහෝ ය. ඒ සියල්ල එක විට දැකිය හැකි නුවණක් ඇතිවිය නො හැකි ය. එබැවින් එක විට සියල්ල දැක සර්වඥත්ත්වයට නො පැමිණිය හැකි ය. අනන්තලෝකධාතුගත අනන්තසත්ත්වසංස්කාරයන් එකින් එන බලා එකින් එක දැන කිසි කලෙක අවසන් නො කළ හැකිය. එබැවින් එකින් එක බලා අවසන් කොට ද කිසිවකුට සර්වඥත්වයට නො පැමිණිය හැකි ය. අතීතයෙහි ඇතැම් තීර්ථකයෝ යන එන සිටින හිඳින නිදන සැම වේලේ ම සියල්ල පෙනෙන නුවණක් ඔවුන්ට ඇතය යි කීහ. එබඳු දර්ශනයක් නො විය හැකි බැවින් ඔවුන්ගේ කීම මිථ්‍යාවකි. සර්වඥතාඥානය යි කියනුයේ වුවමනා විටෙක වුවමනා දෙය දැකිය හැකි නුවණකට ය. සැම නුවණකට ම සියල්ල නො දැනේ. ඒ ඒ නුවණට විෂය දෙය පමණක් දැනේ. අවිෂය දෙය නො දැනේ. තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානයට නො දැනෙන නො හසුවන දෙයක් නැත. එබැවින් එයට සර්වඥතාඥානයය යි කියනු ලැබේ. ඒ නුවණ ඇති බැවින් භාග්‍යවතුන් වහන්සේ සර්වඥ නම් වෙති. සර්වඥතාඥානය ඇතය කියා උන් වහන්සේට නිරතුරු සියල්ල පෙනී ඇත්තේ නො වේ. ආවර්ජනය කළ හොත් නො පෙනෙන දෙයක් ද නොවේ.

අනාවරණ ඥානය

ඇසට පෙනෙතත් භිත්ත්‍යාදියෙන් ආවරණය වුවහොත් නො පෙනේ. පොල් ගෙඩියක් දෙස බලන විට එහි පිට පොත්ත පෙනේ. පිටපොත්තෙන් වැසුණු පොල් කෙඳි, කොහුබත් නො පෙනේ. පොල් ලෙල්ලෙන් වැසෙන නිසා පොල්කටු නො පෙනේ. මෙසේ පෙනෙන හරියේ ඇති දෙය ඇසට ආවරණය වන්නාක් මෙන් සර්වඥතාඥානය ආවරණය කරන දෙයක් නැත. කාලය හෝ භිත්තිප්‍රාකාරපර්වතාදිය සර්වඥතා ඥානයට ආවරණය නොවේ. ඉදිරියෙහි කොතෙක් දේ ඇත ද ඒවායෙහි පැකිළීමක් නැතිව සර්වඥතාඥානය වුවමනා තැනට ගමන් කරන්නේ ය. එයට ආවරණයක් නැත. එබැවින් සර්වඥතාඥානයට ආනාවරණ ඥානය යි ද කියනු ලැබේ. ඒ බව පටිසම්භිදාමග්ගයෙහි “සබ්බං සඞ්ඛතමසඞ්ඛතං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං, තත්ථ ආවරණං නත්ථිති අනාවරණඤාණං” යනුවෙන් ප්‍රකාශිත ය.

බුද්ධපදාර්ථය

“බුද්ධොති කෙනට්ඨෙන බුද්ධො? බුජ්ඣිතා සච්චානීති බුද්ධො, බොධෙතා පජායාති බුද්ධො, සබ්බඤ්ඤුතාය බුද්ධො, සබ්බදස්සාවිතාය බුද්ධො, අනඤ්ඤනෙය්‍යතාය බුද්ධො, විසවිතාය බුද්ධො, ඛීණාසවසංඛාතෙන බුද්ධො, නිරුපලෙපසංඛාතෙන බුද්ධො, එකන්ත වීතරාගොති බුද්ධො, එකන්ත වීතදොසොති බුද්ධො, එකන්තවීතමොහොති බුද්ධො, එකන්තනික්කිලෙසොති බුද්ධො, එකායන මග්ගං ගතොති බුද්ධො, එකො අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධොති බුද්ධො. අබුද්ධිවිහතත්තා බුද්ධපටිලාභා බුද්ධො.

බුද්ධොති නෙතං නාමං මාතරා කතං න පිතාරා කතං න භාතරා කතං න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං න ඤාතිසාලොහිතෙහි කතං, න සමණ බ්‍රාහ්මණෙහි කතං, න දේවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුත ඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤන්ති යදිදං බුද්ධොති”

මේ පටිසම්භිදාමග්ගයෙහි බුද්ධ යන පදය විවරණය කර ඇති ආකාරය ය. එහි තේරුම මෙසේය.

කවරාර්ථයකින් බුද්ධ නම් වේද යත්?

චතුස්සත්‍යයන් අවබෝධ කළ බැවින් බුද්ධ නම් වේ.

චතුස්සත්‍යයන් සත්ත්වයනයට අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වේ.

සියල්ල දත් බැවින් බුද්ධ නම් වේ.

සියල්ල දක්නා බැවින් බුද්ධ නම් වේ.

අන්‍යයන් විසින් අවබෝධ කරවිය යුත්තකු නොවන බැවින් බුද්ධ නම් වේ.

නා නා ගුණයෙන් වෑස්සෙන බැවින් බුද්ධ නම් වේ.

කාමාදි ආශ්‍රවයන් ක්‍ෂය කළ බැවින් බුද්ධ නම් වේ.

උපක්ලේශ විරහිත බැවින් බුද්ධ නම් වේ.

ඒකාන්තයෙන් රාගය දුරු කළ බැවින් බුද්ධ නම් වේ.

ඒකාන්තයෙන් ද්වේෂය දුරු කළ බැවින් බුද්ධ නම් වේ.

ඒකාන්තයෙන් මෝහය දුරු කළ බැවින් බුද්ධ නම් වේ.

ඒකාන්තයෙන් නික්ලේශී බැවින් බුද්ධ නම් වේ.

ඒකායන මාර්ගයෙහි ගියේ නුයි බුද්ධ නම් වේ.

එකලාව අනුත්තර සම්‍යක් සම්බෝධිය අධිගමනය කළ බැවින් බුද්ධ නම් වේ.

අබුද්ධිය නැසූ බැවින් බුද්ධ නම් වේ.

බුද්ධ යන මේ නාමය මව විසින් තබන ලද්දේ නොවේ, පියා විසින් තබන ලද්දේ නොවේ, සහෝදරයන් විසින් තබන ලද්දේ නො වේ. සහෝදරියන් විසින් තබන ලද්දේ නො වේ. මිත්‍රාමාත්‍යාදීන් විසින් තබන ලද්දේ නො වේ. නෑයන් සහලේ නෑයන් විසින් තබන ලද්දේ නො වේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් තබන ලද්දේ නො වේ. දෙවියන් විසින් තබන ලද්දේ නො වේ. බුද්ධ යන මේ නාමය සර්වඥයන් වහන්සේට අර්හන් මාර්ගසංඛ්‍යාත විමෝක්ෂයාගේ කෙළවර ලබන සර්වඥත්වාදි ගුණයන් නිසා ලැබෙන නාමයෙකි. භාග්‍යවත් බුදුවරයන් වහන්සේට බෝධිමූලයේදී සර්වඥතාඥානය ලැබීම නිමිත්ත කොට ලැබෙන ප්‍රඥප්තියකි.

9. භගවත් ගුණය

භගවා යනු ද බුදුරදුන්ගේ නම් අතරින් එක්තරා ප්‍රසිද්ධ නාමයෙකි. එය යම් කිසිවකු විසින් තබන ලද නාමයක් නොව, බෝධිමූලයේ දී අර්හන්මාර්ගසංඛ්‍යාත විමෝක්ෂයාගේ අන්තයෙහි ලැබුණු මහාගුණස්කන්ධය අනුව සිද්ධ නාමයකි. එබැවින් මහානිද්දේසයේ පුරා භේදසුත්ත නිද්දේසයෙහි:- “විමොක්ඛන්තිකඤාණමෙතං බුද්ධානං භගවන්තානං බෝධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති” යනු වදාරන ලදී.

භගවා යන වචනයෙහි බොහෝ අර්ථ ඇත්තේ ය. එය පැරණියන් විසින් අනේකාකාරයෙන් වර්ණනා කර ඇත්තා වූ ද, අනේකාකාරයෙන් වර්ණනා කළ හැකි වූ ව ද වචනයෙකි. අරහං ආදි ගුණ පද නවය අතුරෙන් අන් සියල්ලට ම වඩා විස්තර කළ යුතු කරුණු භගවා යන මේ පදය හා සම්බන්ධව ඇත්තේ ය. කුඩා ග්‍රන්ථයකින් මේ පදය සර්වාකාරයෙන් විස්තර කළ නොහෙන බැවින් මෙහි සුළු විස්තර කරනු ලැබේ.

“භගවාති වචනං සෙට්ඨං - භගවාති පදමුත්තමං, ගරුගාරවයුත්තො සො - භගවා තෙන වුච්චති.”

යනුවෙන් පැරණියන් විසින් අර්ථවිවරණය කර ඇති පරිදි භගවා යනු ශ්‍රේෂ්ඨ පුද්ගලයකු, උත්තම පුද්ගලයකු, ගරු කළ යුතු පුද්ගලයකු දැක්වීම සඳහා භාවිතා කරන වචනයෙකි. ලෝකයෙහි කිසිම ගුණයකින් තථාගතයන් වහන්සේට වැඩි කෙනෙකු තබා සම කෙනෙක් ද නැත. තථාගතයන් වහන්සේ ලෝකයෙහි සැමට ම වඩා ශ්‍රේෂ්ඨ වන සේක. උත්තම වන සේක. සැමදෙනා විසින් ම ගරුබුහුමන් කිරීමට සුදුසු වන සේක. එබැවින් මනුෂ්‍යයෝ ද මනුෂ්‍යයන් විසින් ගරු බුහුමන් කරන ශක්‍රාදි දේවතාවෝ ද බ්‍රහ්මයෝ ද තථාගතයන් වහන්සේට ගරුබුහුමන් කරති. උන්වහන්සේගේ පා වඳිති.

බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට කලින් දී තුබූ ප්‍රතිඥාව අනුව ලොවුතුරා පැමිණි පසු පුරාණ ජටිල වූ උරුවේලකාශ්‍යපාදි දහසක් රහතුන් සමග රජගහනුවරට වැඩ වදාළ සේක. බිම්සර රජතුමා දෙළොස් නහුතයක් බ්‍රාහ්මණ - ගෘහපතීන් ද සමඟ තථාගතයන් වහන්සේ වෙත ගොස් දහම් අසා පැහැදී තෙරුවන් සරණ ගොස් උපාසකත්වයට පැමිණ, පසු දින දානයට ද ආරාධනා කර ගියේ ය. පසු දින තථාගතයන් වහන්සේ රජගෙට වඩනා කල්හි උන් වහන්සේ දක්නට පැමිණියා වූ මහා ජනකාය නිසා මාර්ගය අවහිර විය. එකල්හි සක්දෙව්රජ තරුණ මිනිස් වෙසක් මවා ගෙන,

“දන්තො දන්තෙහි සහ පුරාණජටිලෙහි
විප්පමුත්තො විප්පමුත්තෙහි,
සිංගීනික්ඛස වණ්ණො
රාජගහං පාවිසි භගවා.”

යනාදි ගාථා සයක් ගායනය කරමින් ජනයා ඉවත් කරමින් තථාගතයන් වහන්සේ ඉදිරියේ ගමන් කෙළේය. එකල්හි බුදුගුණ ගයමින් ගමන් කරන, නුදුටුවිරූ ඒ තරුණයා දැක ඇතැම්හු දර්ශනීය වූ මේ තරුණයා කාගේදැ යි කීහ. එකල්හි සක්දෙව් රජු,

“යො ධීරො සබ්බධී දන්තො - සුද්ධො අප්පටිපුග්ගලො,
අරහං සුගතො ලොකෙ - තස්සාහං පරිවාරකො.”

යනුයෙන් “යම් නුවණැත්තෙක් චක්ෂුරාදි සකල ස්ථානයන්හි දැමුණේ ද, ක්ලේශයන්ගෙන් පිරිසිදු වූයේ ද, ලෝකයෙහි අප්‍රතිපුද්ගල වූයේ ද, රහත් වූයේ ද, සුමග ගමන් කළේ ද මම ඔහුගේ මෙහෙකරුවෙක්මි”යි කීය. බොහෝ දෙවිමිනිසුන් ගරු කරන සක්දෙවිඳු තථාගතයන් වහන්සේට ගරු කරන සැටි ඒ පුවතෙන් දත යුතුය.

තථාගතයන් වහන්සේ බුදුබවට පැමිණි අලුත අජපාලන්‍යග්‍රෝධ මූලයෙහි වැඩවෙසෙන කල්හි සහම්පතී නම් බ්‍රහ්මයා උන් වහන්සේ වෙත පැමිණ උතුරුසළුව ඒකාංශ කොට දකුණු දණ බිම ගසා දෙ අත් ඔසවා භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෙන:

දෙසෙතු භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවනතා ධම්මස්ස පරිහායන්ති, භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො.”

යනුවෙන් දහම් දෙසනු පිණිස තථාගතයන් වහන්සේට ආරාධනා කෙළේ ය. මිනිසුන් විසින් තබා දෙවියන් විසින් ද ගරුබුහුමන් කරන බ්‍රහ්මයන් බුදුරදුන්ට ගරු කරන අයුරු ඒ පුවතින් දත හැකිය.

“යස්මා ච ලොකෙ ඉස්සරිය ධම්ම යස සිරි කාම පයතනෙසු ඡසු ධම්මෙසු භගසද්දෙ පවත්තති” යනුවෙන් භග යන වචනයෙන් ඓශ්චර්‍ය්‍යය ධර්මය යශසය ශ්‍රීය කාමය ප්‍රයත්නය යන අර්ථ සය දැක්වෙන බව විශුද්ධිමාර්ගයෙහි දක්වා ඇත්තේය. ඒ ධර්ම සයෙන් යුක්ත වන බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වන සේක.

1. ඓශ්චර්‍ය්‍ය භාග්‍යය.

එහි ඓශ්චර්‍ය්‍ය යනු ඉසුරු බව ය, එනම්, තමාගේ සිත හා අන්‍ය පුද්ගලයන් හා වස්තූන් ද ස්ව වශයෙහි පැවැත්විය හැකි බව ය. රියැදුරකුට රිය තමාට රිසි පරිදි ගමන් කරවිය හැකි වන්නාක් මෙන්, තමන් වහන්සේගේ සිත හා ලෝකයෙහි වෙසෙන අන්‍ය සත්ත්වයන් හා ලෝකයෙහි ඇති වස්තුන් ද තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ වශයෙහි පැවැත්විය හැකි ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිතට ඉසුරු බැවින් චිත්තේශ්චර වන්නාහ. ධ්‍යාන සමාපත්තීන් ස්ව වශයෙහි පවත්වන බැවින් සමාධිසමාපත්තීශ්වර ද වන්නාහ. අනේකප්‍රකාර ඍද්ධීන්හි වශීභාවය ඇති බැවින් ඍද්ධීවර ද වන්නාහ. ධර්මයට අධිපති බැවින් ධර්මේශ්වර ද වන්නාහ. සංඝයාට අධිපති බැවින් සංඝෙශ්වර ද වන්නාහ. නානාගණයන්ට අධිපති බැවින් ගණේශ්වර ද වන්නාහ. ලෝකයට ම අධිපති බැවින් ලෝකේශ්වර ද වන්නාහ.

චිත්තේශ්වර ගුණය ඉතා උසස් ගුණයෙකි. එය නොයෙක් කරුණු පිළිබඳ ඊශ්වරත්වය ඇත්තා වූ ද කෙලෙස් සහිත වූ රජුන්ට දේවබ්‍රාහ්මයන්ට ඍද්ධිමත් ශ්‍රමණයන්ට නැති ගුණයෙකි. කෙලෙස් සහිත පුද්ගලයන්ගේ සිත්, මුහුදෙහි දී කුඹුගස් කැඩී ගිය, සුක්කානම බිඳී ගිය ජලයාත්‍රාව, සුළං යන යන අතට රළපහර දියපහර යන යන අතට ඇදී යන්නාක් මෙන් ලාභලාභ යශායස නින්දාප්‍රශංසා සුඛදුඃඛ යන අෂ්ට ලෝකධර්මය අනුව විපර්‍ය්‍යාසවීම් වශයෙන් ඒ ඒ අතට යන්නේ ය. අෂ්ටලෝකධර්ම නැමැති සැඩසුළං පහරට සැඩ රළපහරට එඩිතර වූ ද රාජාදීන්ගේ සිත් ඔරොත්තු නො දෙන්නේ ය. රාජාදීහු ඇතැම් කරුණුවලදී බිය වී වෙවුලති. ඇතැම් කරුණුවලදී හඬති. ඇතැම් කරුණුවල දී කිපෙති. ඇතැම් කරුණුවලදී බැගෑපත්වෙති. ඇතැම් කරුණුවලදී උමතු වෙති. ඇතැම් කරුණු වලදී දිවි නසා ගනී. ස්වර්ණතිලකා නම් චණ්ඩාල තරුණිය දැක හටගත් චිත්තවිපර්යාසයෙන් රජුන් පස්දෙනෙකු දිවි නසා ගත් බව රසවාහිනියේ කියා තිබේ. ඇතැම් රජුන් ධනාශාවෙන් රෝගාතුර වූ බව ද, ඇතැමුන් යම් යම් කරුණු නිසා උමතු වූ ජාතක කථාදියෙහි දක්වා ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ සිතට ඉසුරු බැවින් උන් වහන්සේට තමන් වහන්සේගේ සිත ඉෂ්ටානිෂ්ටාරම්මණ දෙපක්ෂය සම්බන්ධයෙන්ම සමව තබා ගත හැකිය. ඕනැම ඉෂ්ටාරම්මණයක් උන් වහන්සේට තමන් වහන්සේගේ කැමැත්ත අනුව අනිෂ්ටාරම්මණයක් වශයෙන් වුව ද මධ්‍යස්ථාරම්මණයක් වශයෙන් වුව ද සැලකිය හැකි ය. අනිෂ්ටාරම්මණයන් ද කැමැත්ත අනුව ඉෂ්ට වශයෙන් හෝ මධ්‍යස්ථ වශයෙන් සැලකිය හැකි ය. ඕනෑ ම පුරුෂයකුගේ සිත විපර්යාස කර දැමීමට සමත්, ඕනෑම පුද්ගලයකු කාමබන්ධනයෙන් බැඳ ගැනීමට සමත් මාරදුහිතෲන්ට බුදුරදුන් කාමබන්ධනයෙන් බැඳ ගැනීමට හැකිතාක් උත්සාහ කොට අන්තිමේදී පැහැර පලායන්නට සිදුවූයේ තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ සිතට ඉසුරු බැවිනි. මැරී දින ගණනක් ගතවී හොඳට ම කුණු වී මිනිසකුට ළං විය නො හෙන තත්වයට පැමිණ අමුසොහොනෙහි තුබූ පුණ්ණ නම් දාසියගේ මළසිරුර වෙත වැඩම කොට මළසිරුරට පොරවා තුබූ පණුවන්ගෙන් ගැවසී තුබූ වස්ත්‍රය තිඹක් පමණ පණුවන්ට ඉවත් කොට ගෙන සියතින් ම සෝදා චීවරයක් කොට කිසිදු පිළිකුලක් නැතිව තථාගතයන් වහන්සේට පරිභෝග කළ හැකි වූ යේ ද චිත්තේශ්වර භාවය නිසා ය. මාගන්ධියා දේවිය විසින් මිනිසුන්ට අල්ලස් දී ඔවුන් ලවා තථාගතයන් වහන්සේට අපහාස කරවන්නට පටන් ගත් කල්හි ද, තීර්ථකයන් විසින් සුන්දරිය මරා දමා අපහාස කරවන්නට පටන් ගත් කල්හි ද චිඤ්චමානවිකාව ඉදිරියට ම පැමිණ චෝදනා කළ කල්හි ද, මරහු පැමිණ මහාසංග්‍රාමය කළ කල්හි ද, නාළාගිරි ඇතු පැමිණි කල්හි ද චිත්තේශ්වර භාවය ඇති නිසා තථාගතයන් වහන්සේගේ සිත ප්‍රකෘති ස්වාභාවයෙන් ම පැවැත්තේ ය. තව ද ලෝකයෙහි ඇතැම් උසස් ශ්‍රමණබ්‍රාහ්මණයන්ට තුබුණේ ය යි කියන,

“අණිමා මහිමා පත්ති - පාකම්මං ලඝිමා තථා,
ඊසිතා ච වසීතා ච - යත්ථ කාමාවසායිතා.”

යනුවෙන් දක්නා ඍද්ධිබල අට ද තථාගතයන් වහන්සේට ඉතා උසස් ලෙසින් ඇත්තේ ය.

අණිමා යනු ශරීරය කුඩා කිරීම ය. අෂ්ටපරිෂ්කාරධරව අබැටක් තුළ සතර ඉරියව්ව ම පැවැත්විය හැකිතරමට ද, අෂ්ටපරිෂ්කාරධරව මිනිසකුගේ ඇස්පිය රෝමයක සක්මන් කළ හැකි පමණට ද ශරීරය තථාගතයන් වහන්සේට කුඩා කළ හැකි බව කියා තිබේ.

මහිමා යනු ශරීරය මහත් කිරීම ය. තථාගතයන් වහන්සේට කැමති පමණට ශරීරය මහත් කර ගත හැකි ය. උන් වහන්සේ තීර්ථක මථනය පිණිස යමකප්‍රාතිහාර්‍ය්‍යය කොට සත්වන වස විසීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩම කළහ. ශක්‍රයා උන් වහන්සේ දැක “තථාගතයන් වහන්සේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස් එළඹෙනු පිණිස වැඩම කළහ යි සිතමි. මේ පාණ්ඩුකම්බල ශෛලාසනය විශාල ය. දිගින් සැට යොදුනක, පළලින් පනස් යොදුනක, ඝනින් පසළොස් යොදුනක. තථාගතයන් වහන්සේ මෙහි වැඩසිටිනා කල්හි අනිකකුට එහි අත තැබීමට ද නො ලැබෙන්නේ ය. උන් වහන්සේ මෙහි වැඩසිටිනා කල්හි අස්න හිස් වන්නේ ය”යි සිතුවේ ය. තථාගතයන් වහන්සේ ඔහුගේ සිත දැන තමන් වහන්සේගේ සගළ සිවුර සතරට නමා සැටයොදුන් ශෛලාසනය මත හෙළූ සේක. සිවුරක් එළූ කලෙක කුඩා පුටුවක් වැසෙන්නාක් මෙන් ශෛලාසනය සිවුරෙන් වැසී ගියේ ය. සක්දෙව්රජු ශෛලාසනය සිවුරෙන් වැසුණ ද බුදුරදුන් එහි සුළු තැනක හිඳිනු ඇතැ”යි සිතුවේ ය. තථාගතයන් වහන්සේ සැටයොදුන් අසුන පුරා වැඩ සිටි සේක. මහා පාංසුකූලිකයකු කුඩා පුටුවක හිඳගත් කල සිවුරෙන් පුටුව වැසෙන්නාක් මෙන් තථාගතයන් වහන්සේගේ සිවුරෙන් පාණ්ඩුකම්බලශෛලාසනය වැසී ගියේ ය.

(ධම්මපදට්ඨතථා 452)

රජගහ නුවර විසූ බ්‍රාහ්මණයෙක් “ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රමාණය නො ගත හැකි ය”යි අසා විමසනු පිණිස උන් වහන්සේ පිඬු පිණිස නගරයට පිවිසෙන කල්හි සැටරියනන් හුණගසක් ගෙන මඟ සිටියේ ය. ඔහුගේ හුණගස තථාගතයන් වහන්සේගේ දණ පමණ විය. බ්‍රාහ්මණයා පසු දින හුණගස් දෙකක් එක් කොට බැඳ ගෙන මඟ සිටියේ ය. තථාගතයන් වහන්සේ ඒ හුණගස් දෙකින් උඩ තවත් උණගස් දෙකක් පමණ උසින් පෙනී සිටි සේක. “බ්‍රාහ්මණය, නුඹ කුමක් කරන්නෙහි දැ”යි තථාගතයන් වහන්සේ වදාළහ. “නුඹ වහන්සේගේ ප්‍රමාණය ගනිමි”යි බමුණා කීය. එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, මා සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් දහම් පිරූයේ මාගේ ප්‍රමාණය අනුන්ට ගත හැකි වනු පිණිස නොවේ ය. බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ අප්‍රමේයයෝ ය”යි වදාළහ.

(සුමංගල විලාසිනී 200)

පත්ති යනු කොතෙක් දුරකට වුව ද සැණෙකින් යා හැකි බව ය. තථාගතයන් වහන්සේට දෙව්ලොවට බඹලොවට වුව ද අන් සක්වළකට වුව ද වක් කළ අත දිගු කරන්නාක් මෙන් සැණෙකින් යා හැකිය.

“අථඛ්වාහං භික්ඛවෙ, බකස්ස බ්‍රහ්මුනො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය, සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය එවමෙවං උක්කට්ඨායං සුභගවනෙ සාළ රාජමූලෙ අන්තරහිතො තස්මිං බ්‍රහ්මලොකෙ පාතුරහොසිං”

යනුවෙන් මජ්ඣිමනිකායේ බ්‍රහ්මනිමන්තණික සූත්‍රයෙහි තථාගතයන් වහන්සේ උක්කට්ඨා නම් ජනපදයෙහි සුභග වනයෙහි වැඩ සිට බකබ්‍රහ්මයා වෙසෙන බඹලොවට බලවත් පුරුෂයකු වක්කළ අත දිග හරින තරම් කාලයේදී වැඩම කළ බව වදාරා තිබේ.

“බොධනෙය්‍යං ජනං දිස්වා - සතසහස්සෙපි යොජනෙ
ඛණෙන උපගන්ත්වාන - බොධෙති තං මහාමුනි”

යනුවෙන් “මහාමුනීන්ද්‍රයන් වහන්සේ ධර්මය අවබෝධ කරවිය හැකි ජනයකු දැක යොදුන් ලක්ෂයක් දුර වුව ද සැණෙකින් ගොස් ඔහුට ධර්මය අවබෝධ කරවති”යි බුද්ධවංස පාළියෙහි ද වදාරා ඇත්තේ ය.

පාකම්ම යනු ඍද්ධිබලයෙන් නානාරූපයන් හා ගිනි දිය සුළං ආදි දේවල් නිර්මාණය කිරීමේදී පමාවක් නැතිව සිතූ සැටියේ ම සිදු කළ හැකි බව ය. තථාගතයන් වහන්සේට යමකප්‍රාතිහාර්‍ය්‍යය කළ හැක්කේ ඉතා ඉක්මනින් ඒ ඒ දෙය මැවිය හැකි ශක්තිය ඇති නිසා ය.

ලඝිමා යනු කය, සිතට අනුකූල කොට සිත මෙන් ලැහැල්ලු බවට වේගවත් බවට පත් කිරීම ය. තථාගතයන් වහන්සේ පොළොවෙහි මෙන් අහසෙහි ද ගමනාදි ඉරියව් පැවැත්විය හැක්කේ, දිව්‍යලෝක බ්‍රහ්මලෝකවලට සැණෙකින් යා හැක්කේ සිත අනුව කය ලැහැල්ලු කළ හැකි බැවිනි.

ඊසිතා යනු ඊශ්වරභාවය ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිත හා ලෝකයත් ස්වවශයෙහි පැවැත්වීමට සමත් වන සේක. එබැවින් මනුෂ්‍ය දේව බ්‍රහ්මාදීහු තථාගතයන් වහන්සේ ඉදිරියට පැමිණි කල්හි ඉතා ගෞරවයෙන් හැසිරෙති.

වසීතා යනු ධ්‍යානසමාපත්තිවලට රිසිසේ සමවැදීම නැගිටීම කළ හැකි බව ය. තථාගතයන් වහන්සේට මුල සිට අගට වුව ද අග සිට මුලට වුව ද කැමති කැමති කසිණාරම්මණයන්හි ඉතා සීඝ්‍රයෙන් ධ්‍යානවලට සම වැදීම නැඟී සිටීම කළ හැකි ය. ඒ නිසා කැමති ප්‍රාතිහාර්‍ය්‍යයක් ඉක්මණින් කළ හැකි ය.

යත්ථකාමාවසායිතා යනු ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය කිරීමෙහිදී නියමිත ප්‍රදේශයෙහි නියමිත කාලයක් මුළුල්ලෙහි ප්‍රාතිහාර්‍ය්‍යය පැවැත්විය හැකි බව ය. අණිමා මහිමාදි මේ බලවිශේෂ අට ද තථාගතයන් වහන්සේගේ ඵෙශ්වර්‍ය්‍ය ගුණයට අයත් වන්නේ ය.

2. ධර්මභාග්‍යය

ෂට්භාග්‍ය ගුණයන්හි ධර්ම යනු තථාගතයන් වහන්සේට ඇත්තා වූ ලෝකෝත්තර ධර්ම හා උත්තරීතර ශීලාදි ගුණයෝ ය. ලෞකික ධර්මයන් අතුරෙන් උසස් ධර්මයෝ ධ්‍යානාභිඥාවෝය. ලෝකොත්තර ධර්මයන් අතුරෙන් අර්හත්ඵලය හා නිර්වාණය උසස් ධර්මයෝ ය. ඒවා ඇති බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වෙති. අසාධාරණඥාන සය ද තථාගතයන් වහන්සේගේ විශේෂ ධර්ම සයකි.

3. යශ භාග්‍යය

යශසය යනු පිරිවරය, කීර්තියය යන අර්ථ දෙක ම කියැවෙන වචනයෙකි. මහාපරිවාර ජන සමූහයක් ඇති බැවින් ද, ලෝකත්‍රයෙහි පතළ මහත් කීර්තියක් ඇති බැවින් ද තථාගතයන් වහන්සේ භගවා නම් වෙති. තථාගතයන් වහන්සේට පමණ මහත් වූ උසස් වූ ද පිරිවරක් ලෝකයෙහි කිසිවකුට නො වූහ. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් පසුව ම නො ව මවුකුස පිළිසිඳ ගත් තැන් සිට ම පරිවාර සම්පත්තියෙන් යුක්ත වූහ. මහාපුරුෂයාණන් මවුකුස පිළිසිඳ ගත් කල්හි දේව පුත්‍රයෝ සතර දෙනෙකු පැමිණ සතර දිග අරක් ගත්හ. මහාසත්ත්වයන් මවුකුසින් බිහිවන වේලාවෙහි ද බොහෝ දේවබ්‍රහ්මයෝ ද එහි පැමිණියහ. මවුකුසින් බිහි වන්නා වූ බෝසත් කුමරුන් මිනිසුන් අතට පත්වන්නට කලින් ම බ්‍රහ්මරාජයෝ සතර දෙනෙක් ඔවුන් රන් දැලින් පිළිගත්හ. ඔවුන් අතින් බෝසත් කුමරුන් වරම් දෙව්රදුන් සතරදෙනා මංගලසම්මත අඳුන් දිවිසමින් පිළිගත්හ. බෝසත් කුමරුන් මිනිසුන් පිළිගත්තේ ඔවුන් අතිනි. මිනිසුන් අතින් පොළොවට බට බෝසතාණෝ පොළොවෙහි සිට නැගෙනහිර ලෝකධාතුව බැලූහ. දසදහසක් සක්වළ එක මිදුලක් මෙන් වී පෙනිණ. එදිග විසූ මනුෂ්‍යදේවබ්‍රහ්මයෝ සුවඳමල් ආදියෙන් පුදමින් “මහාපුරුෂයාණෙනි, ඔබ හා සම කෙනෙක් මෙහි නැතය”යි බෝසතාණන්ට සැල කළහ. ඉතිරි දිග් බැලූ කල්හි එහි වූවෝ ද එසේ ම සැල කළහ. එයින් එකෙණෙහි ම දසදහසක් සක්වළ බොහෝ මනුෂ්‍යදේවබ්‍රහ්මයන් උන් වහන්සේගේ පිරිවර වූ බව කිය යුතු ය. බෝසතුන් උපන් පස්වන දින නම් තැබීමේ උත්සවයේ දී ශාස්ත්‍රවේදී බමුණෝ “මේ කුමාරයෝ සක්විතිරජ හෝ වන්නාහ. පැවිදිව ලොවුතුරා බුදු හෝ වන්නාහ”යි පැවසූහ. එකල්හි එක් රැස් වූ අසූදහසක් ක්ෂත්‍රියයෝ “මේ කුමරා බුදු වෙතොත් බුදු වේවා, රජ වෙතොත් රජ වේවා, කුමක් වුවත් මොහුට පිරිවර පිණිස අපි එක් පුත්‍රයකු බැගින් දෙන්නෙමු”යි පැවසූහ. සිද්ධාර්ථකුමාරයන් වැඩිවියට පත්ව ශිල්ප දැක්වීමෙන් පැහැදුණා වූ ශාක්‍යයෝ ඔවුන්ගේ තරුණ දූන් සතළිස් දහසක් එතුමන්ට පිරිවර පිණිස යැවූහ. ඉන්පසු රාජ්‍යයෙහි අභිෂේක කරන ලදුව ඉමහත් යස ඉසුරෙන් වැජඹුණු බෝසතාණන් එකුත්තිස් වියේදී මහබිනික්මන් කොට ලොවුතුරා බුදුබවට පැමිණියේ මහපිරිවරිනි. මහබෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණෙන දින බෝධිමූලයේ වැඩ සිටින අවස්ථාවෙහි බුද්ධමංගලය සඳහා බොහෝ දේවබ්‍රහ්මයෝ පැමිණ බෝසතුන් පිරිවරා ගත්හ. සක්දෙව්රජු එහි පැමිණ විජයුත්තර නම් සක පිම්බේ ය. පඤ්චසිඛ නම් ගාන්ධර්ව දේවපුත්‍රයා පැමිණ වීණාවාදනය කරමින් තුති ගී ගායනය කෙළේ ය. සුයාම දෙව්රජ බෝසතාණන් වහන්සේට පවන් සැලී ය. සහම්පති බ්‍රහ්මරාජතෙමේ බෝසතාණන්ට සේසත් දැරී ය. මහාකාල නම් නාරජ අසූ දහසක් නාටකයන් හා පැමිණ ස්තුති ගී ගයමින් බෝසතාණන්ට ගෞරව කෙළේ ය. දසදහසක් සක්වළින් පැමිණි බොහෝ දෙව්බඹහු සුවඳ මල් ආදියෙන් පුදමින් සාධුනාද පැවැත්වූහ. එසේ දෙවි බඹුන් උත්සව පවත්වද්දී මහබෝසතාණෝ ලොවුතුරා බුදුබවට පැමිණ වදාළහ.

තථාගතයන් වහන්සේගේ පිරිවර වන මිනිස් පිරිස භික්ෂු භික්ෂුණී උපාසකෝපාසිකා වශයෙන් සිවු කොටසකි. භික්ෂූහුද ඒහිභික්ෂුභාවයෙන් උපසම්පදාව ලද්දෝය. අන් ක්‍රමවලින් උපසම්පදාව ලද්දෝ ය යි දෙකොටසක් වෙති. අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි පඤ්චවග්ගිය තෙරුන් වහන්සේලාය, වංගීස තෙරුන් වහන්සේ ය, යස තෙරුන් වහන්සේය, උන් වහන්සේගේ යහළුවන් වූ විමල - සුබාහු - ගවම්පති - පුණ්ණජී යන තෙරුන් වහන්සේ සතර නමය, උන් වහන්සේගේ ම යහළුවන් වන පනස් නමක් තෙරුන් වහන්සේය, භද්දවග්ගිය තෙරවරුන් තිස්නමය, උරුවේලකාශ්‍යපයන් ප්‍රධාන දහසක් පුරාණ ජටිල තෙරවරුය. අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනමය, උන් වහන්සේලාගේ පිරිවර වන එක්දහස් දෙසිය පනස් නමක් වන පරිව්‍රාජක ස්ථවිරවරුය, සේලබ්‍රාහ්මණයා හා ඔහුගේ අත වැසි බ්‍රාහ්මණයන් තුන්සියදෙනාය, මහාකප්පින රජුය, ඔහුගේ පිරිවර වූ දහස් දෙනාය, සුදොවුන් රජතුමා විසින් බුදුරදුන් වෙත යැවූ පුරුෂයන් දසදහසය, බාවාරි තවුසාගේ අතවැසියන් වන සොළොස් දහසක් තවුසෝ ය යනාදීහු ඒහිභික්ෂුභාවයෙන් තථාගතයන් වහන්සේගෙන් ම පැවිද්ද හා උපසම්පදාව ලත් ශ්‍රාවකයන් වහන්සේලා ය. සෙස්සෝ සරණගමනය, ප්‍රශ්න විසඳීම, අවවාද පිළිගැනීම, සංඝයා විසින් කර්මාවාක්‍යයෙන් සම්මත කිරීමය යන ක්‍රමවලින් උපසම්පදාව ලත් ශ්‍රාවකයෝ ය. අසූනමක් රහතන් වහන්සේ තථාගතයන් වහන්සේගේ මහාශ්‍රාවකයෝ ය. උන් වහන්සේලාගේ නම් මෙසේ ය:-

  1. අඤ්ඤාකොණ්ඩඤ්ඤ
  2. වප්ප
  3. භද්දිය
  4. මහානාම
  5. අස්සජි
  6. නාළක
  7. යස
  8. විමල
  9. සුබාහු
  10. පුණ්ණජී
  11. ගවම්පතී
  12. උරුවේලකස්සප
  13. නදීකස්සප
  14. ගයාකස්සප
  15. සාරිපුත්ත
  16. මොග්ගල්ලාන
  17. මහාකස්සප
  18. මහාකච්චායන
  19. මහාකොට්ඨීත
  20. මහා කප්පින
  21. මහාචුන්ද
  22. අනුරුද්ධ
  23. කංඛාරෙවත
  24. ආනන්ද
  25. නන්දක
  26. භගු
  27. නන්ද
  28. කිම්බිල
  29. භද්දිය
  30. රාහුල
  31. සීවලී
  32. උපාලි
  33. දබ්බ
  34. උපසේන
  35. ඛදිරවනිය රේවත
  36. මන්තානිපුත්ත පුණ්ණ
  37. සුනාපරත්ත පුණ්ණ
  38. සෝණ කුටිකණ්ණ
  39. සෝණ කෝළිවිස
  40. රාධ
  41. සුභූති
  42. අංගුලිමාල
  43. වක්කලි
  44. කාළුදායි
  45. මහාඋදායි
  46. පිලින්දිවච්ඡ
  47. සෝභිත
  48. කුමාරකස්සප
  49. රට්ඨපාල
  50. වංගීස
  51. සභිය
  52. සේල
  53. උපවාණ
  54. මේඝිය
  55. සාගත
  56. නාගිත
  57. ලකුණ්ඨක භද්දිය
  58. පිණ්ඩෝලභාරද්වාජ
  59. මහාපන්ථක
  60. චූලපන්ථක
  61. බක්කුල
  62. කොණ්ඩධාන
  63. දාරචීරිය
  64. යසෝජ
  65. අජිත
  66. තිස්ස මෙත්තෙය්‍ය
  67. පුණ්ණක
  68. මෙත්තගු
  69. ධෝතක
  70. උපසීව
  71. නන්ද
  72. හේමක
  73. තෝදෙය්‍ය
  74. කප්ප
  75. චතුකණ්ණි
  76. භද්‍රාවුධ
  77. උදය
  78. පෝසාල
  79. මෝඝරාජ
  80. පිංගිය.

අග්‍රශ්‍රාවකයෝය, මහාශ්‍රාවකයෝය, ප්‍රකෘතිශ්‍රාවකයෝය යි ශ්‍රාවකයන් තුන් කොටසකි. ශාරිපුත්‍ර මෞද්ගල්‍යාන දෙනම අග්‍රශ්‍රාවකයෝ ය. උන්වහන්සේලා ද සමඟ ඉහත කී අසූනම මහාශ්‍රාවකයෝ ය. සෙස්සෝ ප්‍රකෘති ශ්‍රාවකයෝ ය. මේ ශ්‍රාවක භේදය වන්නේ ඒ ඒ අයගේ අතීත පාරමිතාව අනුව ය.

බුදුරදුන් ජීවමාන වූ පන්සාළිස් වසර තුළ බුදු සස්නෙහි පැවිදි වූවෝ බොහෝ ය. ඔවුන්ගේ සංඛ්‍යා නියමයක් සඳහන් වී නැත. බුදුරදුන්ගේ පරිනිර්වාණයට ගණන් ගත නො හෙන තරමේ විශාල භික්ෂු පිරිසක් පැමිණි බව කියා තිබේ. අශෝකරජුගේ කාලයෙහි සැටලක්ෂයක් භික්ෂූන් විසූ බව කියා තිබේ. මිළිඳු රජුගේ කාලයේ හිමාල වනයෙහි රක්ඛිත තලයට කෝටි සියයක් රහතුන් රැස්වූ බව මිළින්දපඤ්හයෙහි සඳහන් වේ. ස්වර්ණමාලි චෛත්‍යරාජයාගේ ධාතු නිධානෝත්සවයට:-

“අරහන්තො ඡන්නවුති - කොටියො ථූපමුත්තමං,
සමන්තා පරිවාරෙත්වා - අට්ඨංසු කතපඤ්ජලී.”

යනුවෙන් සයානූකෝටියක් රහතුන් රැස්වූ බව මහාවංසයෙහි කියා තිබේ. මේ ගණන අනුව සලකන විට තථාගතයන් වහන්සේගේ භික්ෂු ශ්‍රාවක පිරිස ඉතා මහත් බව කිය යුතු ය. බුදුරදුන් ජීවමාන කාලයේ පටන් අද දක්වා බුදුසස්නෙහි පැවිදි වූ පිරිස ඉතා විශාලය, ගණනින් ප්‍රමාණ නො කළ හැකි ය. අනාගතයෙහි ද විශාල පිරිසක් පැවිදිවන්නාහ. ඒ සියල්ලෝම තථාගතයන් වහන්සේගේ පිරිවරය. දැනට භික්ෂූණීන් නැත ද අතීතයෙහි විශාල භික්ෂුණී පිරිසක් වූහ. ඔවුහු ද තථාගතයන් වහන්සේගේ පිරිවරය. බුදුරදුන්ගේ කාලයේ පටන් අද දක්වා තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකා පිරිස ද අනාගතයෙහි තෙරුවන් සරණ යන උපාසක උපාසිකා පිරිස ද ගණනින් ප්‍රමාණ කළ නොහැකි ය. ඒ පිරිස තථාගතයන් වහන්සේගේ ගිහි පිරිවර ය. තථාගතයන් වහන්සේගේ දේව බ්‍රහ්ම පිරිවර දසදහසක් සක්වළ ම පැතිර ඇත්තාහ. ඒ පිරිස ඉතා විශාල ය. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ ද එදා උන් වහන්සේ පිරිවරා සිටි ප්‍රමාණ කළ නො හෙන මනුෂ්‍ය දේව බ්‍රහ්ම මහාජන සමූහයක් මධ්‍යයේ ය. තථාගත පරිනිර්වාණය කලින් ප්‍රසිද්ධියට පැමිණ තුබූ බැවින් උන්වහන්සේගේ ශ්‍රාවක වූ අපමණ භික්ෂුහූ ද කුසිනාරාවට පැමිණ සිටියෝය. බොහෝ කුසිනාරා නුවර වැස්සෝ ද එදා රාත්‍රියේ තථාගතයන් වහන්සේ අන්තිම වරට දක්නට පැමිණ සිටියෝය. අප්‍රමාණ දේවබ්‍රහ්මයෝ දස දහසක් සක්වළින් ම පැමිණියෝ ය. එදා පැමිණ තථාගතයන් වහන්සේට පූජා පැවැත් වූ දේවබ්‍රහ්ම පිරිස බලා උන් වහන්සේ,

“යෙභූය්‍යෙන ආනන්ද, දසසු ලෝකධාතුසු දෙවතා සන්නිපාතිතා තථාගතං දස්සනාය, යාවතා ආනන්ද, කුසිනාරා උපවත්තනං මල්ලානං සාළවනං සමන්තා ද්වාදසා යොජනානි, නත්ථි සො පදෙසො වාළග්ගකොටි නිතුදන මත්තාපි මහෙසක්ඛාහි දෙවතාහි අප්ඵුටො”

යනුවෙන් “ආනන්ද මේ සල්වනය අවට දොළොස් යොදුනක් පමණ තැන මහේශාක්‍ය දෙවියන් නො සිටින ඉදිකටු තුඩක් පමණ තැනකුදු නැතය”යි වදාළහ.

දෙව් මිනිසුන් විසින් පිරිවරන ලදුව පිරිනිවන්පා වදාළා වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට දස දහසක් සක්වළින් පැමිණ දෙවි බඹුන් හා මනුෂ්‍යයෝ සතියක් මුළුල්ලෙහි සුවඳ සුණු සුවඳ මල් කොඩි සේසත් ගී නැටුම් ආදීයෙන් පූජා පැවැත්වූහ. ආදහන කිරීමෙන් පසු ශේෂ වූ ධාතූන් වහන්සේට අද දක්වා ම දෙවි මිනිස්සු පූජා පවත්වති. ලෝකයෙහි ඒ සර්වඥ ධාතූන් වහන්සේ වැඩවෙසෙන තුරු එසේම මහජනයා පූජා පවත්වන්නාහ. ඒ පූජා පවත්වන සෑම දෙනාම තථාගතයන් වහන්සේගේ පිරිසය. තථාගතයන් වහන්සේගේ පිරිවරය. තථාගතයන් වහන්සේට පමණ මහත් පිරිවරක් ලෝකයෙහි අන් කිසිවකුට නැත්තේ ය.

යම් කිසිවකු පිළිබඳව කටින් කට පැතිර යන තැන තැන කියැවෙන ගුණකථාව කීර්ති නම් වේ. කීර්තිමත් පුද්ගලයන් අතුරෙනුදු තථාගතයන් වහන්සේ ම අග්‍ර වන්නාහ. මනුෂ්‍යයන් පමණක් නොව දේව බ්‍රහ්මයෝ ද තථාගතයන් වහන්සේගේ ගුණ උන් වහන්සේ බුදුවීමටත් පෙර සිට අද දක්වා ම කියන්නාහ. ලෝකයෙහි බුදුගුණ නො කියැවෙන දිනක් නැත. සාමාන්‍ය දිනවලදී ලක්ෂසංඛ්‍යාත ජනකායක් ද, විශේෂ දිනවලදී කෝටිසංඛ්‍යාත ජනකායක් ද, අදත් බුදුරදුන්ගේ ගුණ කියති. “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යන පාඨයෙන් ද “ඉතිපි සෝ භගවා ” යනාදි පාඨයෙන් ද කියැවෙන්නේ බුදුගුණ ය. දිනකට ලක්ෂ ගණනක් මුවවලින් අදත් ඒවා කියැවෙන්නේය. මතුවට ද කියැවෙන්නේ ය. දේශකයෝ අනේකාකාරයෙන් තැන තැන බුදුගුණ දේශනය කරති. ගත්කරුවෝ ග්‍රන්ථමාර්ගයෙන් බුදුගුණ පතළ කෙරෙති. කවීහු කාව්‍ය කරණයෙන් බුදුගුණ පතළ කරති. ගායකයෝ ගැයුමෙන් බුදුගුණ පතුරවති. වාදකයෝ වැයුමෙන් බුදුගුණ පතළ කරති. නළුවෝ නෘත්‍යයෙන් බුදුගුණ පතළ කරති. සෙස්සෝද තමන්ට හැකි ආකාර වලින් තමන්ගේ වියත්කම් අනුව බුදුගුණ පතළ කෙරෙති.

පිලෝතිකා පිරිවැජියාගේ බුද්ධ ගුණ කථනය.

බුදුරදුන් සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන කල්හි රත්නත්‍රය කෙරෙහි ප්‍රසන්න වූ නිතර දෙව්රම් වෙහෙරට යන එන පිලෝතිකා නම් තරුණ පිරිවැජියෙක් විය. දිනක් ඔහු දෙව්රම් වෙහෙරට ගොස් බුදුරදුන් දැක සැවැත්නුවරට පිවිසියේය. එදින සුදුවෙළඹුන් සිවු දෙනකුන් යෙදූ රිදියෙන් නිර්මිත රථයකින් මහත් වූ ශ්‍රී විභූතියෙන් නගර සඤ්චාරය කරන්නා වූ ජානුස්සෝණි නම් බ්‍රාහ්මණයා ඉදිරියට පැමිණ පිලෝතිකා පිරිවැජියා දැක හැඳින “පින්වත් වාත්ස්‍යායන, මේ මහදවාලෙහි කොහි සිට එන්නේදැ”යි ඇසීය. “පින්වත, මම ශ්‍රමණගෞතමයන් වෙතින් එමි”යි පිරිවැජි කීය. එකල්හි ජානුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ “පින්වත් වාත්ස්‍යායනය, ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ තරාතිරම කෙසේ ද? ඔහු පණ්ඩිත දැ”යි ඇසීය. එකල්හි පිලෝතිකා පිරිවැජි කියනුයේ “පින්වත, ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණේ තරම කීමට මම කවරෙක් වෙම් ද? ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණෙහි තරම දත හැක්කේ ඔවුන් වැනි කෙනෙකුට මය”යි කීය. එකල්හි ජානුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ “ඔබ ඉතා උසස් පැසසීමකින් ශ්‍රමණගෞතමයන්ට ප්‍රසංශා කරන්නේහිය. ඔබ කුමක් දැක ශ්‍රමණගෞතමයන් කෙරෙහි මෙතරම් පැහැදුණෙහි දැ”කීය. “බ්‍රාහ්මණය, හස්ති ශිල්පය දතුවකු ඇතුන් වෙසෙන වනයට පිවිස විමසන කල්හි එහි දික් වූ ද, පුළුල් වූ ද ඇත් පිය සටහනක් දුට හොත් එයින් ඔහු විශාල ඇතකු ඇතය යි විනිශ්චයට පැමිණෙන්නේ ය, එමෙන් මම ද ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥා නමැති පිය තැබූ සටහන් සතරක් දැක භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්ය. ශ්‍රාවක සංඝයා සුප්‍රතිපන්නය යි නිශ්චිතයට බැස ගතිමි”යි පිරිවැජි තෙමේ කීය. ඉක්බිති ඔහු එය මෙසේ විස්තර කළේ ය.

“පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි සියුම් නුවණ ඇත්තා වූ අන්‍යයන්ගේ වාද දන්නා වූ වාද කිරීමේ පුරුදුකම් ඇත්තා වූ දුර පිහිටි ඉතා කුඩා දෙයට නො වරදවා විදින වාළවේධී ධනුර්ධරයන් මෙන් අන්‍යයන්ගේ සියුම් වූ ද දෘෂ්ටීන් ප්‍රඥාවෙන් බිඳලීමට සමත් වූ ඇතැම් ක්ෂත්‍රිය පණ්ඩිතයෝ ඇත්තාහ. ඔවුහු ශ්‍රමණගෞතමයෝ අසවල් තැන වෙසෙති”යි අසා කෙසේ විසඳුව ද දොස් දැක්විය හැකි උභතෝකෝටික ප්‍රශ්න ගොතා මේ ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දුන හොත් මෙසේ වාදාරෝපණය කරමිය, මෙසේ පිළිතුරු දුනහොත් මෙසේ වදාරෝපනය කරමිය”යි කලින් ම සිතාගෙන ඒ ප්‍රශ්න ඇසීමට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත යන්නාහ. ඔවුනට ශ්‍රමණ ගෞතමයෝ දැහැමි කථාවෙන් දෘෂ්ටධාර්මික සාම්පරායිකාර්ථයන් දක්වති. කුශල ධර්මයන් සමාදන් කරවති. කුසල් කිරීමෙහි ඔවුන් උත්සාහවත් කරවති. ඔවුන්ගේ සිත් සතුටු කරවති. ඔවුන්ගේ සිත් දන්නාවූ ශ්‍රමණගෞතමයෝ ධර්ම කථාව කරන අතර ම ඔවුන්ගේ ප්‍රශ්න ද දක්වා ඒවායේ ඇති වරද දක්වති. ශ්‍රමණගෞතමයන් විසින් ධර්මය පිළිගන්වන ලද්දා වූ ධර්මයෙහි පිහිටවන ලද්දා වූ ඒ පණ්ඩිතයෝ ශ්‍රමණගෞතමයන් හා වාද කරනු තබා ප්‍රශ්න ද නො අසති. ඔවුහු ශ්‍රමණ ගෞතමයන්ගේ ම ශ්‍රාවකත්වයට පැමිණෙති. මම ශ්‍රමණගෞතමයන්ගේ මේ පළමුවන පියසටහන දැක භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ. ධර්මය ස්වාක්ඛාතය, සංඝයා සුප්‍රතිපන්නය යි නිශ්චයට පැමිණියෙමි ය. එබඳු බ්‍රාහ්මණ පණ්ඩිතයන් ද ශ්‍රමණ ගෞතමයන් වෙත ප්‍රශ්න ගොතා ගෙන ගොස් අන්තිමේදී ඔවුන්ගේ ම ශ්‍රාවකයන් වනු දක්නා ලදී. එය මා දුටු ශ්‍රමණගෞතමයන්ගේ දෙවන පිය සටහනය. එබඳු ම වූ ගෘහපති පණ්ඩිතයන් ද ප්‍රශ්න ගොතා ගෙන ශ්‍රමණගෞතමයන් වෙත ගොස් අන්තිමේ දී ඔවුන්ගේ ම ශ්‍රාවකවනු දක්නා ලදී. එය මා දුටු ශ්‍රමණගෞතමයන්ගේ තුන්වන පිය සටහනය. එබඳු වූ ම ශ්‍රමණ පණ්ඩිතයෝ ප්‍රශ්න ගොතා ගෙන ශ්‍රමණගෞතමයන් වෙත ගොස් උන් වහන්සේගේ ධර්මය අසා ප්‍රශ්න ඇසීම තබා තමන්ගේ පළමු පැවිද්ද හැර උන් වහන්සේගේ පැවිද්ද ලබා නොබෝ කලකින් සව්කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ, අපි පෙර අශ්‍රමණව ම ශ්‍රමණ වෙමු යි කියා ගෙන, අබ්‍රාහ්මණව ම බ්‍රාහ්මණය යි කියා ගෙන, නො රහත්ව ම රහත් වෙමු යි කියාගෙන විසුවෙමු ය. දැන් නම් අපි ශ්‍රමණයෝ වෙමු ය. බ්‍රාහ්මණයෝ වෙමු ය. රහත් වෙමු යි පවසති. මේ මා දුටු ශ්‍රමණ ගෞතමයන්ගේ සතර වන පා සටහනය. එය දැක මම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධහ. උන් වහන්සේගේ ධර්මය යහපත්ය. ශ්‍රාවක සංඝයා සුප්‍රතිපන්නය යි නිශ්චය කර ගතිමිය.”

පිලෝතිකා පිරිවැජි විසින් කළ බුද්ධගුණකථාව ඇසූ ජානුස්සෝනි බ්‍රාහ්මණ තෙමේ රියෙන් බැස උතුරු සළුව එකස්කොට භාග්‍යවතුන් වහන්සේ වෙසෙන දිශාවට දෝත් නඟා වැඳ ගෙන “නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස” යි තෙවරක් ප්‍රීතිවාක්‍ය කියා “යම් කිසි විටෙක ඒ ශ්‍රමණ ගෞතමයන් මුණගැසුණ හොත් ඔවුන් හා කථා කරන්නට ලද හොත් යහපත් වන්නේ ය”යි ද කීය. පසු කලෙක ජානුස්සෝණි බ්‍රාහ්මණ බුදුරදුන් වෙත ගොස් දහම් අසා උපාසකත්වයට පැමිණියේ ය.

(චූළහත්ථීපදෝපම සූ.)

පිංගියානි බ්‍රාහ්මණයාගේ බුදුගුණ කීම.

තථාගතයන් වහන්සේ වෛශාලි නගරාසන්න මහවනෙහි කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන සමයෙහි බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සිට ගිය පිංගියානි නම් බ්‍රාහ්මණයා ලිච්ඡවීන්ගේ කර්මාන්ත කරවමින් සිටි කරණපාලි නම් බ්‍රාහ්මණයාට හමු වී “මේ මහ දවාලෙහි පිංගියානි, කොහි සිට එන්නේදැ”යි ඔහු ඇසීය. “බ්‍රාහ්මණය, මම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි සිට එමි”යි පිංගියානි කීය. එකල්හි කරණපාලි බ්‍රාහ්මණ තෙමේ “පින්වත් පිංගියානි, ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණෙහි තතු කෙසේ ද? ඔබ ඔහු පණ්ඩිතය යි සිතන්නෙහිදැ”යි කීය. එකල්හි පිංගියානි කියනුයේ “මම ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ මැනීමට කවරෙක් වෙම් ද? යමෙක් ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණෙහි තරම දන්නේ නම් ඔහුත් ශ්‍රමණ ගෞතමයන් වැනියෙක් වන්නේය”යි කීය. “පින්වත් පිංගියානි, උසස් ප්‍රශංසාවකින් ශ්‍රමණ ගෞතමයන්ට පසස්නේ”ය යි කරණපාලි බ්‍රාහ්මණ කිය. “ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රසංශා කිරීමට මම කවරෙක් ද? ශ්‍රමණ ගෞතමයෝ සකල ලෝකයා විසින් ප්‍රශස්ත වූ ඔවුන්ගේ උත්තම ගුණවලින් ම ප්‍රශස්තයෝ ය. සියලු දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨයෝය”යි පිංගියානි කීය. එකල්හි කරණපාලි බ්‍රාහ්මණ “ඔබ කුමක් දැක කිනම් කරුණකින් ශ්‍රමණ ගෞතමයන්ට මෙතරම් පැහැදුණෙහිදැ”යි ඇසීය. එකල්හි පිංගියානි බ්‍රාහ්මණයා තථාගතයන් වහන්සේගේ ගුණ මෙසේ වර්ණනා කෙළේය.

අග්‍රරස ඇති භෝජනයන් කුසපුරා වළදා තෘප්තියට පත්ව සිටින්නකුට නීරස භෝජනයන් ප්‍රිය නො වන්නාක් මෙන් ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය ඇසූ පසු අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වාද අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ධර්ම අප්‍රිය වන්නේය. සාගින්නෙන් පෙළෙන්නකුට චතුමධුරයන් යොදා පිළියෙල කළ අග්ගලා ගෙඩියක් ලැබී වළඳනා කල්හි එය කොතැනකින් වැළඳුව ද මිහිරි රසයක් ලැබෙන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය කොතැනකින් ඇසුව ද, සූත්‍රයෙන් ඇසුවද, ගෙය්‍යයෙන් ඇසුව ද, වෙය්‍යාකරණයෙන් ඇසුව ද, අද්භූතධර්මයෙන් ඇසුව ද, සතුටක් ලැබෙන්නේ ය. පැහැදීමක් ඇති වන්නේය. රන්වන් සඳුන් ගැටයක් හෝ රත් සඳුන් ගැටයක් ලත් කෙනෙකුට එය කොතැනකින් ආඝ්‍රාණය කළත් සුමිහිරි සුවඳක් ලැබෙන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය අසන්නකුට සූත්‍රයෙන් හෝ වේවා. ගෙය්‍යයෙන් හෝ වේවා, වෙය්‍යාකරණයෙන් හෝ වේවා, අද්භූතධර්මයෙන් හෝ වේවා, කුමකින් කොතැනින් ඇසුව ද සතුටක් ලැබෙන්නේය. යම්කිසි රෝගයකින් පෙළෙන්නකුට දක්ෂ වෛද්‍යයකු විසින් ප්‍රතිකාර කරන කල්හි ක්‍රමයෙන් රෝගය දුරු වී යන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය තොතැනකින් හෝ අසන්නහුගේ ශෝක පරිදේව දුඃඛ දොම්නස්‍ය උපායාසයෝ නැති වන්නාහ. ශ්‍රීෂ්මයෙන් හා පිපාසාවෙන් පීඩිතයෙකු සුමිහිරි සිහිල් දියෙන් පිරුණු පොකුණකට බැස පැන් බී දිය නෑම කරන කල්හි ඔහුගේ ශ්‍රීෂ්මය පිපාසාව ක්ලාන්තය සන්සිඳී යන්නාක් මෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මය කොතැනකින් හෝ අසන්නහුට ඔහුගේ සියලු පීඩා වෙහෙසීම් දැවීම් සන්සිඳෙන්නේය.

මෙසේ පිංගියානි බුදුරදුන්ගේ ගුණ වර්ණනා කළ කල්හි කරණපාලි බ්‍රාහ්මණ තෙමේ අසුනෙන් නැගිට උතුරු සළුව ඒකාංස කොට දකුණු දණ බිම හැණ බුදුරදුන් වැඩ වෙසෙන දිශාවට දෝත් නඟා වැඳ “නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස”යි තෙවරක් උදන් අනා පිංගියානිට ස්තුති කොට රත්නත්ත්‍රය සරණ ගියේය.

(අංගුත්තර පඤ්චක නිපාත )

දෙව්ලොව බුදුගුණ වැනුම

භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන සමයෙහි පඤ්චසිඛ නම් ගාන්ධර්ව දේවපුත්‍රයා උන්වහන්සේ වෙත පැමිණ ස්වාමීනි, “මම තව්තිසා දෙවියන්ගෙන් අසන ලද්දක් නුඹ වහන්සේට සැල කරමි”යි කීය. “කියව පඤ්චසිඛය”යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි ඔහු මෙසේ කීය.

“ස්වාමීනි, ඉකුත් පසළොස්වක් පොහෝ දින රාත්‍රියෙහි තව්තිසා දෙව්ලොව සුධර්මා නම් ශාලාවට සියලු තව්තිසා වැසි දෙවියෝ රැස්වූහ. මහත් වූ දෙව් පිරිසක් ශාලාව අවට ද රැස්ව හුන්හ. සතර දිග සතර වරම් මහ රජහු උන්හ. පෙරදිග ධතරට්ඨ නම් මහදෙව්රජ බස්නාහිරට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේය. දකුණු දිග විරුළ්හක නම් මහදෙව්රජ උතුරට මුහුණලා දෙවියන් පෙරටු කොට හුන්නේය. පැදුම්දිග විරූපක්ෂ නම් මහදෙව්රජ නැගෙනහිරට මුහුණ ලා දෙවියන් පෙරටුකොට හුන්නේය. උතුරු දිග වෙස්සවණ නම් මහදෙව්රජ දකුණට මුහුණලා පෙරටු කොට හුන්නේ ය. මේ දෙවිවරුන්ගේ පසු පස අපට අසුන් ලැබුණේ ය. ස්වාමීනි, ඒ දේවසභාවෙහි නුඹ වහන්සේගේ ශාසනයෙහි ශ්‍රේෂ්ඨචර්‍ය්‍යාවෙහි හැසිර අලුත තව්තිසා දෙව්ලොව උපන් දෙවියෝ වර්ණයෙන් හා යසසින් පරණ දෙවියන් ඉක්මවා සිටියෝ ය. ස්වාමීනි, ඒ කරුණෙන් තව්තිසා වැසි දෙවියෝ දෙව්ලොව පිරෙන්නේ ය. අසුර ලොව පිරිහෙන්නේය”යි ප්‍රීති වූවෝ ය, සොම්නසට පැමිණියෝ ය. ස්වාමීනි, එකල්හි සක්දෙව්රජ දෙවියන්ගේ සතුට දැන මේ ගාථාවන් කියා දෙවියන්ගේ ප්‍රීතිය අනුමෝදන් විය.

මොදන්ති වත භො දෙවා - තාවතිංසා සහින්දකා.
තථාගතං නමස්සන්තා - ධම්මස්ස ච සුධම්මතං

නවෙ දෙවෙච පස්සන්ත - වණ්ණවන්තෙ යසස්සිනෙ,
සුගතස්සමිං බ්‍රහ්මචරියං - චරිත්වාන ඉධාගතෙ.

තෙ අඤ්ඤෙ අතිරොචන්ති - වණ්ණෙන යසසායුනා,
සාවකා භූරිපඤ්ඤස්ස - විසෙසූපගතා ඉධ.

ඉධං දිස්වාන නන්දන්ති - තාවතිංසා සහින්දකා,
තථාගතං නමස්සන්තා- ධම්මස්ස ච සුධම්මතං.

සක්දෙව්රජු කී ගාථා ඇසූ දෙවියෝ දෙව්ලොව පිරෙන්නේ ය. අසුරකායය පිරිහෙන්නේ යයි වඩාත් සතුටට පත්වූහ. දෙවියන්ගේ සතුට දත් සක්දෙව්රජ දෙවියන් අමතා “ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ ගුණ අටක් අසන්නට කැමැත්තහු දැ”යි ඇසී ය. දෙවියන් ඒ ගුණ ඇසීමට කැමැත්ත ප්‍රකාශ කෙළෙන් සක්දෙව් රජ මෙසේ ඒ ගුණ අට ප්‍රකාශ කෙළේ ය.

1. ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස පිළිපන් සේක. බොහෝ ජනයාට සැප පිණිස පිළිපන් සේක. ලෝකයාට අනුකම්පාව පිණිස දෙව්මිනිසුන්ගේ අර්ථය පිණිස හිතය පිණිස සැපය පිණිස පිළිපන් සේක. මේ අංගයෙන් සම්පූර්ණ වූ ශාස්තෲවරයකු අතීතයෙහි ද නො දකිමු. දැනුදු ඒ ශාස්තෲන් වහන්සේ හැර අනිකකු නො දකිමු.

2. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනා කොට දේශනය කරන ලද්දේ ය. ඒ ධර්මය සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, තමාගේ සන්තානයට පමුණුවා ගැනීමට සුදුසු ය. නුවණැතියන් විසින් ස්ව සන්තානයෙන්ම දත යුතුය. මෙසේ සත්ත්ව සත්තානයට පමුණුවා ගත යුතු වූ සත්ත්වසන්තානයෙහි පැවැත්විය යුතු ධර්මයක් දේශනය කරන අන් ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකකු නො දකිමු.

3. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කුශලය යි මැනවින් පනවන ලද්දේය. මේ කුශලය යි මැනවින් පනවන ලද්දේ ය. මේ සාවද්‍යය, මේ නිරවද්‍යය, මේ සේවනය කළ යුතුය, මේ සේවනය නො කළ යුතුය, මේ හීනය, මේ ප්‍රණීතය, මේ කෘෂ්ණය, මේ ශුක්ලය යි මැනවින් පනවන ලද්දේ ය. මෙසේ කුශලාකුශලාදි ධර්මයන් මැනවින් පනවන අන් ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකකු නො දකිමු.

4. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට පනවා ඇති නිර්වාණගාමිනී ප්‍රතිපදාව ඉතා යහපත් ය, නිර්වාණය හා ප්‍රතිපදාව ගංගාජලය හා යමුනාජලය මෙන් සංසන්දනය වන්නේ ය. සම වන්නේ ය. එබඳු යහපත් නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් පැන වූ ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකකු නො දකිමු.

5. ඒ භාග්‍යවතුන් වහන්සේට බොහෝ ලාභ ඇති විය. ඉමහත් කීර්තියක් ඇති විය. ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදීහු උන් වහන්සේට පැහැදී සිටිති. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒවායින් මත් වීමක් නැතිව ආහාරය වළඳන්නාහ. මේ අංගයෙන් ද යුක්ත ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකකු නො දකිමු.

6. ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිවෙත් පුරන්නා වූ ද අර්හත්වයට පැමිණීමෙන් පිළිවෙත් පිරීම අවසන් කළා වූ ද බොහෝ ශ්‍රාවකයන් ඇත්තෝ ය. එහෙත් උන් වහන්සේ ඔවුන් කෙරෙහි නො ඇලී ඔවුන් අතර ම එකලාව වාසය කරන සේක. එසේ එකලාව වෙසෙන අන් ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ ශාස්තෲන් වහන්සේ හැර අනිකකු නො දකිමු.

7. ඒ භාග්‍යවතුන් වහන්සේ කියන පරිදිම කරන සේක. කරන පරිදි ම කියන සේක. එසේ ධර්මය අනුව පිලිපදින අන් ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකකු නො දකිමු.

8. ඒ භාග්‍යවතුන් වහන්සේ එතෙර කරන ලද විචිකිත්සා ඇති සේක. මෙය එසේ ද මෙසේ ද කියා සැක කරන ස්වාභාවය ඉක්මවා සිටින සේක. බලවත් වීර්‍ය්‍යයෙන් පෞරාණික ආර්‍ය්‍යමාර්ගයෙන් සර්වඥත්වයට පැමිණි අදහස් මුදුන්පත් කර සිටි සේක. ඒ අංගයෙන් සමන්වාගත අන් ශාස්තෲවරයකු අතීතයෙහි නො දකිමු. දැනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අනිකකු නො දකිමු.

ස්වාමීනි, මෙසේ සක්දෙව්රජු භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ මේ ගුණ අට ප්‍රකාශ කළ කල්හි තව්තිසා දෙවියෝ වඩාත් ප්‍රීතිමත් වූහ. අතිශයින් සතුටට පත් වූ ඔවුන්ගෙන් ඇතමෙක් “අහෝ ලොවට බුදුවරුන් සතර නමක් ඇතිවුව හොත් කොතරම් යහපතැක්දැ”යි කීය. තැම්හු “සතර නමක් නොව තෙනමක්වත් ඇති වුව හොත් කොතරම් යහපතක් දැ”යි කීහ. ඇතැම්හු “බුදුවරුන් දෙනමක් වත් ඇති වුව හොත් කොතරම් යහපතක් දැ”යි කීය. එකල්හි සක් දෙව්රජ තෙමේ දෙවියන් අමතා “පින්වත්නි, එක් ලෝකධාතුවෙක්හි එකවර බුදුවරු දෙනමක් පහළවීම සිදු නො වන්නේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ නිරෝගීව චිරකාලයකක් ජීවමාන වුව හොත් ඉතා යහපතැයි” කී ය.

දේව සභාවේ වැඩ අවසන් වූ සැටියේ ම සනන්කුමාර බ්‍රහ්ම තෙමේ එහි පැමිණියේ ය. දෙවියෝ සැම දෙන ඔහුට වැඳ ගෙන තමන්ගේ අසුන්වල ම හුන්ය. ඔහුද තව්තිසා දෙවියන්ගේ චිත්තප්‍රසාදය දැන “මොදන්ති වත භො දෙවා” යනාදි ගාථා තුන කියා ඒ ප්‍රීතිය අනුමෝදන් විය. ඉක්බිති සනන්කුමාර බ්‍රහ්ම තෙමේ සක් දෙව් රජුගෙන් බුදුගුණ අට අසා සතුටුව ඔහු ද භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥා සම්පත්තිය දැක්වීම පිණිස මහාගෝවින්ද චරිතය කීය.

(මහාගෝවින්ද සුත්ත)

තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේ දී දම්සක් පැවත්වූ අවස්ථාවෙහි බූමාටු දෙවියන්ගේ පටන් අකණිටා බඹලොව බ්‍රහ්මයන් දක්වා ඒ ඒ දේවලෝක බ්‍රාහ්මලෝකවාසීහු “එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං”යි ස්තුතිඝෝෂා පැවැත්වූහ. ඒ ඝෝෂය සැණෙකින් අකනිටා බඹලොව දක්වා පැන නැංගේය. දස දහසක් සක්වළ පැතිර ගියේය.

බුදුන් වහන්සේ මව්කුස පිළිසිඳීම, මවුකුසින් බිහිවීම, බුද්ධත්වයට පැමිණීම යනාදී විශේෂ අවස්ථාවන්හි අවිඥානක වස්තූහු ද නිමිති පහළ කිරීම් වශයෙන් තථාගතයන් වහන්සේගේ කීර්තිය පතළ කළහ. ඒ අවස්ථාවලදී මහපොළොව මහකඳු ගුගුර ගුගුරා කම්පාවීම් වශයෙන් ද, ගංගා සාගර නිශ්චලවීම් වශයෙන් ද, ගස්වැල් මලින් සැරසීම් වශයෙන් ද, රත්නජාතිහු දිලිසීම් වශයෙන් ද, තුර්‍ය්‍යභාණ්ඩ වාදනයක් නැතිව ම හඬනැඟීම් වශයෙන් ද තථාගතයන් වහන්සේගේ කීර්තිය පතළ කළහ.

බුදුරදුන්ගේ කීර්තිය මිනිස්ලොව බුදුසස්න පවත්නා වර්ෂ පන්දහසේ ම පවත්නේ ය. දෙවියන්ගේ ආයුෂය දික් බැවින් ඉදිරියට ද වර්ෂ කෝටි ගණනක් දෙව්ලොව තථාගතයන් වහන්සේගේ කීර්තිය පවත්නේ ය. බ්‍රහ්මයන්ගේ ආයුෂ ඉතා දික් බැවින් බ්‍රහ්මලෝකවල කල්ප බොහෝ ගණනක් යන තුරු ද බුදුරදුන්ගේ කීර්තිය පවත්නේ ය.

4. ශ්‍රී භාග්‍යය

දක්නවුන්ට සතුට ඇති කරන්නා වූ නැවත නැවත දැකීමේ ආශාව ඇති කරන්නා වූ රූප ශෝභාව හා ශරීරය වස්ත්‍ර වාසස්ථාන පරිභෝග භාණ්ඩ යන මේවායේ පිරිසිදුබව ගමනාදි ඉරියව් පැවැත්වීමේ ශෝභානත්වය කථා කීරිම් බැලීම් සිනාසීම් ආදි ක්‍රියාවන්ගේ ශෝභනත්ත්වය යනාදිය ශ්‍රී නම් වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් ද කේතුමාලා ව්‍යාමප්‍රභා අශීතිහස්තප්‍රභා යන රශ්මීන්ගෙන් ද යුක්ත වන තථාගත දේහය ඉතා ශ්‍රීමත්ය. අන් මිනිසකුට තබා දෙවියකුට බ්‍රහ්මයකුට ද එබඳු ශ්‍රීමත් ශරීරයක් නැත. භාග්‍යවතුන් වහන්සේ තීර්ථකමථනය පිණිස යමාමහ පෙළහර කොට තව්තිසා දෙව්ලොවට වැඩ වදාරා සක්දෙව් රජුගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි අබිදම් දෙසීම සඳහා වැඩහුන් කල්හි දස දහසක් සක්වළින්ම පැමිණ දේව බ්‍රහ්මයෝ උන් වහන්සේ වටා සිට ගත්හ. ඒ මහ පිරිසෙහි රූප ශෝභාවෙන් තථාගතයන් වහන්සේ යට පත් කළ හැකි එක දෙවියකු එක බ්‍රහ්මයකු නොවූ බවත් සකල දේව බ්‍රහ්මයන්ගේ රූප ශෝභාව ඉක්මවා තථාගතයන් වහන්සේ ම බැබලුණ බවත්:-

තාවතිංසෙ යදා බුද්ධො - සිලායං පණ්ඩුකම්බලෙ,
පාරිච්ඡත්තකමූලම්භි - විහාසි පුරිසුත්තමො,

දසසු ලොකධාතුසු - සන්තිපතිත්වාන දෙවතා,
පයිරුපාසන්ති සම්බුද්ධං - වසන්තං නගමුද්ධනි.

න කොචි දෙවො වණ්ණෙන - සම්බුද්ධං අතිරොචති
සබ්බෙ දෙවෙ අධිග්ගය්හ - සම්බුද්ධොව විරොචති.

(ධ. අ. 453)

යනුවෙන් ප්‍රකාශිතය.

තථාගතයන් වහන්සේගේ දේහයෙහි අන්‍යයන්ගේ සිත් ඇද ගන්නා ශක්තිය කොතරම් ද කියත හොත් උන් වහන්සේ පිඬු සිඟා වඩනා දුටු වක්කලී නම් බ්‍රාහ්මණයා උන් වහන්සේගේ රූසිරි බල බලා සිටීමේ ආශාවෙන් ම පැවිදි විය. පැවිදි වූ වක්කලී අන්‍ය භික්ෂූන් මෙන් කමටහන් වැඩීම් ආදියෙහි නො යෙදී තථාගතයන් වහන්සේ දැකිය හැකි තැන්වල ම වෙසෙමින් උන් වහන්සේගේ රූසිරු බැලීමෙහි ම යෙදුනේය. තථාගත දේහය හොබවන මහාපුරුෂලක්ෂණ දෙතිස මෙසේ ලක්ෂණ සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.

(1) “ඉඩ භික්ඛවෙ, මහාපුරිසො සුප්පතිට්ඨීත පාදො හොති, යම්පි භික්ඛවෙ මහාපුරිසො සුප්පතිට්ඨීත පාදො හොති, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිස ලක්ඛණං භවති.

(2) පුන ච පරං භික්ඛවෙ, මහාපුරිසස්ස හෙට්ඨා පාදතලෙසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාර පරිපූරානි, යම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස හෙට්ඨා පාදතලෙසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාර පරිපූරානි, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.

(3) පුන චපරං භික්ඛවෙ, මහාපුරිසො ආයතපණ්හී හොති, (4) දීඝංගුලී හොති, (5) මුදුතලුන හත්ථපාදො හොති. (6) ජාලහත්ථපාදො හොති, (7) උස්සංඛපාදො හොති (8) එණි ජංඝො හොති, (9) ඨීතකොව අනෝනමන්තො උභොහි පාණිතලෙහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති, (10) කොසොහිතවත්ථගුය්හො හොති (11) සුවණ්ණවණ්ණො හොති, කඤ්චනසන්නිහත්තචො, (12) සුඛුමච්ඡවී හොති, සුඛුමත්තා කායෙ රාජොජල්ලං න උපලිම්පති, (13) එකෙක ලොමො හොති එකෙකානි ලොමානි ලොමකූපෙසු ජාතානි, (14) උද්ධග්ගලොමො හොති උද්දග්ගානි ලොමානි ජාතානි, නීලානි අඤ්ජනවණ්ණානි වත්තානි දක්ඛිණාවත්තජාතානි (15) බ්‍රහ්මුජ්ජුගත්තො හොති, (16) සත්තුස්සදො හොති, (17) සීහපුබ්බද්ධ කායො හොති, (18) චිතන්තරංසො හොති, (19) නිග්‍රොධපරිමණ්ඩලො හොති යාවතක්වස්ස කායො තාවතක්වස්ස බ්‍යාමො, යාවතක්වස්ස බ්‍යාමො තාවතක්වස්ස කායො හොති, (20) සමවත්තක්ඛන්ධො හොති, (21) රසග්ගසග්ගී හොති, (22) සීහහනු හොති, (23) චත්තාළීස දන්තො හොති, (24) සමදන්තො හොති, (25) අවිවරදන්තො හොති, (26) සුසුක්කදාඨො හොති, (27) පහූතජිව්හො හොති, (28) බ්‍රහ්මස්සරො හොති, කරවීකභාණී, (29) අභිනීල නෙත්තො හොති, (30) ගොපඛුමො හොති, (31) උණ්ණා භමුකන්තරෙ ජාතා හොති, ඔදාතා මුදුතුලනිභා ඉදම්පි භික්ඛවෙ මහාපුරිසස්ස මහා පුරිසලක්ඛණං භවති. (32) පුන ච පරං මහාපුරිසො උණ්හීසසීහො හොති, යම්පි භික්ඛවෙ මහාපුරිසො උණ්හීසසීසො හොති, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති, ඉමානි ඛො තානි භික්ඛවෙ ද්වත්තිංස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි”.

1. සුප්පතිට්ඨීතපාදො.

සාමාන්‍ය ජනයා පය බිම තබන කල්හි පයෙහි අග හෝ විලුඹ හෝ පාර්ශ්වයක් හෝ පළමුවෙන් පොළොවට පැමිණේ. බිම තැබූ කල්හි ද මැද පොළොවෙහි නො සැපී උස්ව සිටී. තථාගතයන් වහන්සේ පය බිම තබන කල්හි සැම තැන එක වර පොළොව ස්පර්ෂ කරයි. මැද උස්ව නොසිටී, මේසෙන් හැන්දක් මෙන් සැම තැනින් පොළොව ස්පර්ශ කර ගෙන සිටී. මේ සුප්පතිට්ඨිතපාදතා නම් පුරුෂ ලක්ෂණය ය.

2. හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි.

තථාගතයන් වහන්සේගේ යටි පතුල් යුවළෙහි දහසක් දැවි ඇති චක්‍රසටහන් යුවළක් පිහිටා ඇත්තේ ය. මේ එක් මහා පුරුෂ ලක්ෂණයෙකි. එය වටා ස්වස්තිකය ශ්‍රීවත්සය, නන්ද්‍යාවර්තය, සෞවස්තිකය, අවතංසය යනාදි මඟුල් ලකුණු බොහෝ ගණනක් පිහිටා ඇති බව අටුවාවල කියා ඇත්තේ ය.

3. ආයතපණ්හි

දික් වූ විළුම් ඇති බව එක් මහා පුරුෂ ලක්ෂණයෙකි. සාමාන්‍ය ජනයන්ගේ අක් පතුල් දිගය. විළුම් මත සිහින් කකුල් පිහිටා ඇත්තේය. ඇතැමුන්ගේ විළුම් මඳක් ඇත්තේ ය. ඇතැමුන්ගේ විළුම් සැසැදැමුවාක් මෙන් පෙනෙන්නට නැත. තථාගතයන් වහන්සේගේ පතුලෙන් දෙකෙන් කොටසක් ඉදිරියට ඇත්තේ ය. තුන් වන කොටසෙහි සිහින් කකුල් පිහිටා ඇත්තේ ය. ඉන් පස්සට විලුඹ පතුලෙන් සතරෙන් කොටසක් ඇත්තේ ය. එය ලියවන ලද්දක් සේ ශෝභන ලෙස පිහිටා තිබේ.

4. දීඝංගුලි

සෙස්සන්ගේ ඇඟිලි සමහරක් දික් ය. සමහරක් කෙටි ය. බුදුරදුන්ගේ අත් පාවල ඇඟිලි මුල මහත්ව අග සිහින්ව දිගින් සමව පිහිටා ඇත්තේ ය.

5. මුදු තලුණ හත්ථපාදො

බුදුරදුන්ගේ අතුල් පතුල් උපන් සැටියේ දරුවකුගේ අතුල් පතුල් මෙන් මෘදුව ඇත්තේ ය.

6. ජාලහත්ථ පාදො

බුදුරදුන් අතෙහි ඇඟිලි සතර හා පයේ ඇඟිලි පස දක්ෂ ශිල්පියකු විසින් ලිය වූ පොලු යොදා කළ කවුළුවක අක්මුල් හා ගැට එක පෙළට පවත්නාක් මෙන් අක්මුල් හා සන්ධිස්ථාන එක පෙළට සමව පිහිටා ඇත්තේය.

7. උස්සංඛ පාදො

බුදුරදුන්ගේ පාදයන්හි ගොප් ඇට අන්‍යයන්ගේ ගොප් ඇට පිහිටි තැනට ඉහළින් පිහිටා ඇත්තේය. සෙස්සන්ගේ ගොප් ඇට පයේ පහළ පිහිටා ඇති බැවින් පතුල් තද වී ඇත්තේ ය. පහසුවෙන් ක්‍රියා කරවිය නො හැකිය. බුදුරදුන්ගේ පාවල ගොප් ඇට ඉහළින් පිහිටා ඇත් බැවින් පතුල් පහසුවෙන් ක්‍රියා කරවිය හැකි ය. ගමන් කරන කල්හි සෙස්සන්ගේ පතුල් ඇතුන්ගේ මෙන් පිටිපසට පමණක් පෙනේ. ඉදිරියෙන් නො පෙනේ. බුදුරදුන් වඩනා කල්හි උන්වහන්සේ ගේ පතුල් ඉදිරි, පසු දෙපසින් ම දැකිය හැකිය.

8. එණිජංඝො

සෙස්සන්ගේ සිහින් කකුල් පිටිපසින් මස් ගොබයකින් යුක්ත වී ඉදිරිපස ඇට මතු වී ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ ජංඝාවෝ එණි නම් මෘගයන්ගේ ජංඝා මෙන් මසින් වට වී ඇත්තාහ.

9. ඨීතකොව අනොනමන්තො උභොහි පාණිතලෙහි ජණ්ණුකානි පරිමසති, පරිමජ්ජති.

සෙස්සන්ට සිට ගෙන තමන්ගේ දණ නො නැමී අත නො ගෑ හැකි ය. තථාගත ශරීරය සිට ගෙන නො නැමී දණ අතින් පිරිමැදිය හැකි පරිදි ඇත්තේ ය. එය පමණට වඩා අත් දික්ව පිහිටීමක් ලෙස නො සැලකිය යුතු ය. එයට සුදුසු වන පරිදි තථාගත ශරීරය පිහිටා ඇති බැවින් උන් වහන්සේට එසේ කළ හැකි ය.

10. කොසොහිත වත්ථගුය්හො.

තථාගතයන් වහන්සේගේ පුරුෂව්‍යඤ්ජනය ගවයන්ගේ ඇතුන්ගේ මෙන් කෝෂයකින් වැසී ඇත්තේ ය.

11. සුවණ්ණවණ්ණො.

තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ඔපලා ඇති ස්වර්ණයක් මෙන් ස්වර්ණ වර්ණ වන්නේ ය.

12. සුබුමච්ඡවි.

තථාගතයන් වහන්සේගේ සම ඉතා සියුම් ය. එබැවින් එහි ධූලි ආදිය නො තැවරෙයි. නෙළුම් පතට වැටෙන දියබින්දු එහි නො ඇලී පෙරළී යන්නාක් මෙන් තථාගත ශරීරයට පැමිණෙන ධූලි එහි නො ඇලී ඉවත් වෙයි. එබැවින් තථාගත ශරීරය සැම කල්හි පවිත්‍රව පවත්නේ ය. උන් වහන්සේ අත් පා සේදීම කරන්නේ ජලස්නානය කරන්නේ කය සිසිල් කිරීම පිණිස හා දායකයන්ට පින් සිදුවීම පිණිස ය.

13. එකෙක ලොමො.

සෙස්සන්ගේ එක ලෝමකූපයක සමහර විට ලොම් දෙක තුන බැගින් ද වෙයි. තථාගත ශරීරයෙහි ඇත්තේ එක් ලෝමකූපයක එක් ලෝමයක් බැගිනි.

14. උද්ධග්ග ලොමො.

සෙස්සන්ගේ ශරීරවල ලොම් නන් අයුරින් පිහිටා තිබේ. තථාගත ශරීරයේ ලොම් සියල්ල දකුණතට කරකැවී අග උඩ බලා සිටින සේ පිහිටා ඇත්තේ ය.

15. බ්‍රහ්මුජ්ජුගත්තො.

බොහෝ දෙනාගේ ශරීර ඉදිරියට හෝ පස්සට නැමී බර වී තිබේ. සමහරුන්ගේ ශරීර පැත්තට ද නැමී පවතී. ඇතැම්හු පස්සට නැමුණු ශරීරය ඇති නිසා නිතර උඩ බලා සිටිති. උඩ බලා ගමන් කරති. මහාපුරුෂ ශරීරය බ්‍රහ්මයාගේ ශරීරය මෙන් සෘජුව පවතී. තථාගතයන් වහන්සේගේ දේහය එසේය.

16. සත්තුස්සදො.

පිටිඅත් දෙක පිටිපතුල් දෙක උරහිස් දෙක ස්කන්ධය යන සත්තැන ම තථාගත ශරීරයෙහි ඇට නහර මතු නොවී පිරී පවතී. එය සත්තුස්සද නම් මහාපුරුෂ ලක්ෂණය ය. බොහෝ දෙනාගේ ශරීරවල ඒ ස්ථානයන්හි ඇට නහර මතු වී ඇත්තේ ය.

17. සීහපුබ්බද්ධ කායො

සිංහ ශරීරයේ පූර්වාර්ධය පරිපූර්ණ ය. පිටිපස අපරිපූර්ණ ය, දුබල ය. තථාගතයන් වහන්සේගේ සකල ශරීරය ම සිංහ ශරීරයේ පූර්වාර්ධය සේ පරිපූර්ණ ය.

18. චිතන්තරංසො

සෙස්සන්ගේ පිට මැදින් වළගැසී දෙකට බෙදී ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ පිට මසින් පිරී ලෑල්ලක් සේ සමව පිහිටා ඇත්තේ ය.

19. නිග්‍රොධ පරිමණ්ඩලො

නුග ගස සැට රියනක් උස නම් සැටරියනක් පුළුල් වන්න් ය. අසූරියනක් උස නම් අසූරියනක් පුළුල් වන්නේ ය. දිග පුළුලින් සමවන නුගරුකක් මෙන් තථාගත ශරීරය ද සමව පිහිටා ඇත්තේය. තථාගත දේහයේ උස යම් පමණ නම් බඹය ද එපමණ ම වේ. බඹය යම් පමණ නම් උස ද එපමණ ම වේ. උසත් බඹයත් සමව පිහිටා ඇත්තේ ය. සෙස්සන්ගේ බඹය හෝ දික්වෙයි. ශරීරය හෝ දික්වෙයි. ශරීරයත් බඹයත් සම නො වේ.

20. සමවත්තක්ඛන්ධො.

ඇතැම්හු කොකුන් මෙන් දිග් ගෙළ ඇත්තෝ ය. ඇතැම්හු වක් වූ ගෙළ ඇත්තෝ ය. ඇතැම්හු පුළුල් ගෙළ ඇත්තෝ ය. කථා කිරීමේ දී ඔවුන්ගේ ගෙළෙහි නහර මතුවෙයි. හඬ මහත්ව මිහිරිව නො නැඟෙයි. තථාගතයන් වහන්සේගේ ගෙළ රන්කලසක කර සෙයින් වටවී පිහිටා ඇත්තේ ය. කථා කිරීමේදී නහර මතු නොවේ. එයින් මහත් වූ ද මිහිරි වූ ද හඬ නැඟෙයි.

21. රසග්ගසග්ගී

භාග්‍යවතුන් වහන්සේගේ සත්සියයක් රස නහර (ආහාර ඕජාව ශරීරයේ පතුරුවන නහර) උඩුකුරුව ගොස් ග්‍රීවයට අක් පැමිණ පිහිටා තිබේ. එබැවින් තල ඇටයක් පමණ වූ ද ආහාරයක් දිවෙහි තැබුව හොත් එහි රසය සකල ශරීරයෙහි ම පැතිර යයි. දුෂ්කර ක්‍රියා කාලයේදී බෝසතාණන්ට එක් බත් ඇටයකින්, මුං තැම්බූ දිය ස්වල්පයකින් යැපිය හැකි වූයේ මේ මහාපුරුෂ ලක්ෂණය නිසා ය. සෙස්සන්ගේ රස නහර එසේ පිහිටා නැති බැවින් ඔවුන් ගන්නා ආහාරයේ ඕජාව සකල ශරීරයේ නො පැතිරෙයි. එබැවින් ඔවුහු රෝග බහුලයෝ වෙති.

22. සීහහනු.

සිංහයාගේ යටිහක්ක සම්පූර්ණ ය. උඩුහක්ක අසම්පූර්ණ ය. සිංහයාගේ යටිහනුව මෙන් මහා පුරුෂයාණන්ගේ උඩු යටි හනු දෙක ම පුර පසළොස්වක දිනයේ සඳ මෙන් සම්පූර්ණව ඇත්තේ ය.

23. චත්තාළීස දන්තො

සෙස්සන්ට හනු අපරිපූර්ණ බැවින් ඔවුනට දත් දෙතිසක් වුවද, තිසක් වුවද, විසිඅටක් වුවද ප්‍රමාණ වන්නේය. තථාගතයන් වහන්සේගේ හනු පරිපූර්ණ බැවින් එක් එක් හනුවක දත් විස්ස බැගින් දත් සතළිසක් ඇත්තේ ය.

24. සමදන්තො.

සෙස්සන්ගේ ඇතැම් දත් මිටිව ඇතැම් දත් උස්ව ද නො සම ලෙස පිහිටා ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ සමසතළිස් දන්තයෝ උස් මිටි නැතිව එක් පෙළට මැනවින් පිහිටා සිටින්නාහ.

25. අවිවරදන්තො.

බොහෝ දෙනාගේ දත් එකිනෙක බැඳී පිහිටා නැත්තේ ය. ආහාර ගන්නා කල්හි දත් අතර අහර රැඳේ. එවා පසුව ඉරටු ආදියෙන් බැහැර කළ යුතු වෙයි. තථාගතයන් වහන්සේගේ දන්තයෝ එකිනෙක බැඳී පිහිටා සිටිති. ආහාරවලට රැඳී සිටීමට තැනක් උන් වහන්සේගේ දන්තයන් අතර නැත්තේ ය.

26. සුසුක්ක දාඨො

දාඨා යනු තොල් කෙළවර පිහිටා ඇති වට දත් සතර ය. ඇතැමුන්ගේ දාඨාවෝ විවර්ණ වෙති. තථාගතයන් වහන්සේගේ සතර දාඨාවෝ පහන් තරුව සේ ඉතා සුදු ය. උන් වහන්සේ සිනාසෙන කල්හි ඒවායින් සුදු රැස් විහිදෙන්නේ ය.

27. පහූත ජිව්හො.

ඇතැමුන් ගේ දිව පමණට වඩා ඝන හෝ වෙයි, කුඩා හෝ වෙයි. ඉක්මනින් ක්‍රියා කරවිය නොහෙන පරිදි තද හෝ වෙයි. ඔවුනට පිරිසිදු ලෙස උච්චාරණය නො කළ හැකි ය. ඇතැම් අකුරු උච්චාරණය නො කළ හැකි ය. බුදුරදුන්ගේ දිව වනාහි දිග් ද පුළුල් ද මෘදු ද සම ද වර්ණවත් ද වේ. එබැවින් උන් වහන්සේගේ ස්වරය මිහිරි ය. සෙස්සන් කීමට පැය ගණනක් කාලය ගන්නා දෙය උන් වහන්සේට අසනුවන්ට පැහැදිලි ලෙස තේරුම් යන පරිදි විනාඩි ගණනකින් කිය හැකි ය. දිව මෘදු බැවින් තථාගතයන් වහන්සේට එය හකුළුවා පන්හිඳක් සේ කොට නාස්පුඩු පිරිමැදිය හැකි ය. කන් සිදුරු පිරිමැදිය හැකි ය. පුළුල් කොට නළල වැසිය හැකි ය.

28. බ්‍රහ්මස්සරො හොති කරවීකභාණි.

ඇතමකුගේ හඬ වඩුවන් ඇණ ගසන හඬ සේ ටින් කබල්වලට තට්ටු කරන හඬ සේ දර පලන හඬ සේ කවුඩු හඬ සේ රළුය. අමිහිරිය. පිත් සෙම් ආදියෙන් අවහිරයක් නැතිව නැඟී එන තථාගතයන් වහන්සේගේ ස්වරය බ්‍රහ්මයාගේ ස්වරය බඳු ය. අෂ්ටාංගයකින් යුක්ත ය. ස්වරයෙහි අංග අට,

“විස්සට්ඨ මඤ්ජු විඤ්ඤෙය්‍යා - සවනීයා විසාරිනො
බින්දු ගම්භීර නින්නාදි - ත්‍යෙව අට්ඨංගිකො සරො”

යනුවෙන් අභිධානප්පදීපිකාවෙහි දක්වා ඇත්තේ ය. සිනිඳු බවය, මිහිරි බවය, පහසුවෙන් තේරුම් ගත හැකි බවය, කනට සැප බවය, අවුල් නැති බවය, එකතු වී ඇති බවය, ගැඹුරු බවය, නින්නාද ඇති බවය යන මේ අට ස්වරයෙහි අංගයෝ ය. අෂ්ටාංගයෙන් යුක්ත වන බුදුරදුන්ගේ හඬ කුරවිකෙවිල්ලන්ගේ හඬ සේ මධුර ය.

කුරවිකෙවිල්ලා හිමාලය වනයෙහි වෙසෙන පක්ෂියෙකි. ඌ ඉදුණු අඹවලින් වෑස්සෙන පැණි බී තෘප්තව පියාපත් ගසමින් නාද කරන්නට පටන් ගනී. උගේ හඬ කොතරම් මිහිරි ද කියත හොත්, ඒ හඬ කන හුණු මෘගපක්ෂීහු මත්වූවන් මෙන් එයට ඇහුම්කම් දෙන්නට පටන් ගනිති. තණ කන මෘගයෝ කටට ගත් තණ බිම හෙලා එයට ඇහුම්කන් දෙමින් එහි රසය විඳින්නට පටන් ගනිති. කුඩා සතුන් ලුහුබැඳ දුවන සිංහව්‍යාඝ්‍රාදීහු එස වූ පා බිම නො තබා එයට ඇහුම්කන් දෙති. මරණ බියෙන් දුවන කුඩා සත්තු නැවතී එයට ඇහුම්කන් දෙති. පියාසර කරන පක්ෂීහු පියාපත් නොගසා ඒ හඬ අසති. දියෙහි මස්හු වරල් නො ගසා ඒ හඬ අසති. කරවීක පක්ෂීයාගේ හඬට වඩා සියගුණයෙන් සහස් ගුණයෙන් තථාගතයන් වහන්සේගේ නාදය වූ බ්‍රහ්මඝෝෂාව මිහිරි ය.

කරවීය පක්ෂියාගේ හඬ ගැන බ්‍රහ්මායු සූත්‍ර අටුවාවෙහි සඳහන් කථාවක් මෙසේ ය. අසන්ධිමිත්‍රා නම් වූ ධර්මාශෝක රජුගේ දේවිය “ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ හඬ බඳු හඬක් කාහටවත් ඇත්තේ දැ”යි මහාසංඝයාගෙන් විචාළා ය. “එබඳු හඬක් කරවීක පක්ෂියාට ඇතය ය”යි මහාසංඝයා වහන්සේ වදාළහ. “ඔවුහු කොහි වෙසෙත් දැ”යි දේවිය ඇසුවා ය. හිමාලය වනයෙහි වෙසෙන බව මහාසංඝයා වදාළහ. දේවිය කරවීක පක්ෂියකු බලන්නට කැමති බව රජතුමාට කීවේය. රජු “මේ කුඩුවෙහි හිඳ කරවීය පක්ෂියෙක් ඒවා”යි රන්කූඩුවක් යැවීය. එය අහසින් ගොස් එක් කරවීය පක්ෂියකු ඉදිරියේ නැවතිණ. පක්ෂියා එය තුළට වන් කල්හි කූඩුව පෙරළා අවුත් රජු ඉදිරියේ නැවතිණ. එහෙත් ඌ ලවා නාද කරවන්නට නො පිළිවන් විය. එකල්හි රජ “මේ පක්ෂියා හඬන්නේ කෙසේදැ”යි ඇසීය. “දේවයන් වහන්ස, නෑයන් දුටු කල්හි මොවුහු හඬ නඟන්නාහ”යි දන්නෝ කීහ. රජතුමා කූඩුව වටා කන්නාඩි තැබවී ය. පක්ෂියා උගේ ඡායාව දැක නෑයන් පැමිණියේ ය යි සිතා නාද පවත්වන්නට විය. සකල නගරයේ ම මනුෂ්‍යයෝ ඒ හඬ අසා මත් වූහ. අසන්ධිමිත්‍රා දේවිය “මේ තිරිසන් සතාගේ ස්වරය මෙතරම් මිහිරි නම් සර්වඥතාඥානශ්‍රීයට පත් තථාගතයන් වහන්සේගේ ස්වරය කොතරම් මිහිරි වන්නට ඇද්දැ”යි බුද්ධාලම්බණ ප්‍රීතිය උපදවා ඒ ප්‍රීතියෙන් ම සෝවාන් ඵලයෙහි පිහිටියා ය.

29. අභිනීල නෙත්තො

බොහෝ දෙනාගේ නෙත් දුඹුරු පැහැ ඇත්තේ හෝ බොරපැහැ ඇත්තේ හෝ වෙයි. තථාගතයන් වහන්සේගේ නේත්‍රයන්ගේ මධ්‍යමණ්ඩලයෝ දිය බෙරලිය මල් සෙයින් නිල්පැහැ ඇත්තාහ. තවද ඒවායේ රන්වන් විය යුතු තැන් කිණිහිරිමල් සෙයින් රන්වන් ය. රතු විය යුතු තැන් බඳුවද මල් මෙන් රතු ය. සුදු විය තැන් ඔප ලූ සක් මෙන් සුදු ය. කළු විය යුතු තැන් අඳුන් සේ කළු ය.

30. ගොපඛුමො

බොහෝ දෙනාගේ ඇස් පමණට වඩා මහත් හෝ කුඩා හෝ වෙයි. ඉදිරියට නෙරා හෝ ගිළී හෝ ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ අක්ෂිගුලයෝ එකෙණෙහි උපන් රතු වස්සන්ගේ ඇස් මෙන් ප්‍රසන්න වන්නාහ. ඔප දමා ඇති මැණික් ගුළි සේ සිනිඳු ද පැහැපත් ද වන්නාහ.

31. උණ්ණා භමුකන්තරෙ ජාතා

තථාගතයන් වහන්සේ ගේ දෙබැම අතර නළල මැද දක්ෂිණාවර්ත ශුභ්‍රවර්ණ රෝමයක් පිහිටා ඇත්තේ ය. එය ඌර්ණරෝම නම් වේ. එය අගින් ගෙන ඇද්ද හොත් බාහුවෙන් අඩක් පමණ වන්නේ ය. ගිතෙල් ගැල්වූ සියවර පෙළූ පුළුන් රොදක් සේ මෘදු වූ ඒ රෝමය එක් මහාපුරුෂ ලක්ෂණයකි. එය රන් තැටියක රිදී බුබුලක් සේ බබලන්නේ ය.

32. උණ්හීස සීසො

දෙකන්සිළු දක්වා නළල වසා සිටින සෙස්සන්ට නැති විශේෂ මාංසපටලයක් තථාගතයන් වහන්සේගේ නළලෙහි ඇත්තේය. එය උණ්හීස නම් වේ. එය රජුන් බඳින නළල් පටක් සේ දිලෙයි. පශ්චිමභවික මහාබෝසතුන්ගේ ඒ මහාපුරුෂ ලක්ෂණය අනුව රජුන් නළල් පටක් පළදින්නට පටන් ගත් බව ද කියා තිබේ.

මේ මහා පුරුෂ ලක්ෂණ දෙතිසෙන් යුක්ත වූයේ ගිහිව සිටියේ සතර මහාද්වීපයන්ට අධිපති චක්‍රරත්නාදි සප්ත රත්නයන් ඇති සක්විති රජෙක් වේ. පැවිදි වූයේ නම් ලොවුතුරා බුදුවේ. මේ මහා පුරුෂ ලක්ෂණ වලින් ඇතැම් ලකුණු සමහර උසස් පුද්ගලයන්ට ද ඇති වේ. බාවරී තවුසාට මහ පුරිස් ලකුණු තුනක් තුබූ බව කියා තිබේ. බොහෝ බමුණන් බුදුරදුන් බුදුකෙනෙකුන් ලෙස පිළිගත්තේ උන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි පිහිටි මහා පුරුෂ ලක්ෂණයන් දැකීමෙනි. බුදු කෙනෙකුන් ලොව පහළ වන්නට සමීප වූ කල්හි මිනිස්නට බුදුන් හැඳින ගත හැකිවනු පිණිස ශුද්ධාවාස බ්‍රහ්මයන් මිනිස් ලොවට පැමිණ බමුණු වෙසින් සිට මහා පුරුෂ ලක්ෂණයන් ඇතුළත් කොට වේදය උගන්වන බවත්, බුදුරදුන් පිරිනිවීමෙන් පසු ඒ කොටස ක්‍රමයෙන් වේදයෙන් ගිලිහී යන බවත්, දැනට ඒ කොටස වේදයෙහි නැති බවත් බ්‍රහ්මායුසූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ.

මහ බෝසතාණන් මවු කුසින් බිහිව පස් වන දිනයෙහි උන්වහන්සේට නම් තැබීම සඳහා රජ මැඳුරට කැඳවූ බමුණන්ගෙන් සත් දෙනෙකුන් “මේ කුමරු ගිහි ගෙයි විසුව හොත් සක්විති රජ වන්නේ ය යි ද, පැවිදි වුවහොත් කෙලෙස් වැස්ම නැති කොට ලොවුතුරා බුදු වන්නේය”යි පැවසුවේ ද, සැම දෙනාට බාල කොණ්ඩඤ්ඤ නම් බමුණා “මේ කුමරු ගිහිගෙහි නො වෙසෙන්නේ ය. ඒකාන්තයෙන් පැවිදිව බුදුවන්නේ ය”යි කීයේ ද, වේදයෙහි එන මහපුරිස් ලකුණු බෝසත් කුමරුගේ දේහයෙහි තිබෙනු දැකීමෙනි. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා විසින් ඒ ප්‍රකාශය කළේ කිනම් ලකුණක් දැකීමෙන් ද යන බව අටුවා ටීකා පොත්වල දක්වා නැත. සිදුහත් කුමරුගේ පතුල්වල සප්ත රත්නයන් සහිත සක්විති රජුගේ රූ සටහන පිහිටා තිබුණේ ය. පතුලෙහි ඒ ලකුණු පිහිටා ඇති අයකු සක්විති රජ නොවිය හැකි ය. ඒ තැනැත්තා සුදුසු වන්නේ සක්විති රජුට වඩා උසස් කෙනකු වීමට ය. ඒ ලකුණු දැක කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා “මේ කුමරා ඒකාන්තයෙන් බුදු වන්නේය”යි කීයේය යි සාසන සම්පත්ති දීපනී නමැති බුරුම ග්‍රන්ථයෙහි කියා තිබේ.

තථාගතයන් වහන්සේගේ දේහශ්‍රීය වර්ධනය කරන අනුව්‍යඤ්ජන නාමයෙන් හඳුන්වන ලක්ෂණ අසූවක් ද උන් වහන්සේගේ දේහයෙහි ඇත්තේ ය. ග්‍රන්ථය මහත් වන බැවින් ඒවා මෙහි නො දක්වනු ලැබේ.

දේහරශ්මීහු

දෙතිස්මහා රූප ලක්ෂණයෙන් අශීත්‍යනුව්‍යඤ්ජනයෙන් ශෝභමාන වූ තථාගත දේහයෙන් නික්මෙන්නා වූ ව්‍යාමප්‍රභා, අශීතිහස්තප්‍රභා, අනන්තප්‍රභා, කේතුමාලා ඌර්ණරෝම ප්‍රභා, දාඨාප්‍රභා යන බුද්ධ රශ්මීහු තථාගත දේහය අතිශයින් ශෝභාවත් කෙරෙති. ශ්‍රීමත් කෙරෙති.

තථාගත දේහය වටා සතර රියනක් තැන් පැතිර සිටින රශ්මි මණ්ඩලය ව්‍යාමප්‍රභා නම් වේ. ඒ සේම තථාගත දේහය වටා අසූරියනක් තැන් පැතිර සිටින රශ්මි මණ්ඩලය අශීතිහස්තප්‍රභා නම් වේ. අහසෙහි සඳ මඬල ඇති දිනවල චන්ද්‍රයාගේ ඒ මණ්ඩලාකාර රශ්මිය හා ඉන් ඔබ අහසෙහි පැතිරී චන්ද්‍ර රශ්මිය වෙන් වෙන්ව පෙනෙන්නාක් මෙන් තථාගතයන් වහන්සේ අවට පැතිර සිටින ව්‍යාමප්‍රභාව හා අශීතිහස්තප්‍රභාව වෙන් වෙන්ව පෙනෙන්නේ ය. ඒ රශ්මි මණ්ඩල දෙක නිසා රත්න ප්‍රාකාර දෙකකින් වට වූ ස්වර්ණ පර්වතයක් සේ තථාගත දේහය ශ්‍රීමත් වන්නේ ය.

ලොවුතුරා බුදු බව ලැබීමෙන් සතර වන සතියෙහි රතනඝරයෙහි වැඩ සිට අනන්ත නය සමන්වාගත ප්‍රස්ථාන මහා ප්‍රකරණය මෙනෙහි කිරීමේදී තථාගත ශරීරයෙන් නික්ම අනන්ත ලෝක ධෘතුවෙහි පැතිර ගිය ෂට් වර්ණ බුද්ධ රශ්මිය අනන්තරශ්මි නම් වේ.

එදා තථාගත ශ්‍රී දේහයේ නිල් තැන් වන හිසකේ රැවුල් ලොම් වලින් හා නේත්‍රයන්ගෙන් ද නීල කාන්තිය විහිදෙන්නට විය. එයින් අහස් තලය නිල් මල් විසුරුවන ලද කලෙක මෙන්ද, නිල්වත් දිගහැර සැලෙන්නට සැලැස්වූ කලෙක මෙන්ද, ලක්ෂ ගණනක් කෝටි ගණනක් මිණි තල් වැට සැලෙන්නට පටන් ගත් කලක් මෙන් ද නීල වර්ණයෙන් බැබලිණ.

සමෙන් හා නෙත්වල පීතස්ථානයන්ගෙන් ද, පීත රශ්මීන් නික්මෙන්නට විය. ඒ රශ්මීන් කරණකොට දිශාවෝ රන්මල් වස්නා කලෙක මෙන් ද, සැම තැන රන්වන් කොඩි වැල් දැමූ රන්වන් කොඩි එසවූ කලෙක මෙන් ද බබලන්නට වූහ.

තථාගතයන් දේහයේ ලේ මස් වලින් හා නෙත්වල රතු තැන් වලින් රශ්මී ධාරාවෝ නික්මුණාහ. ඒ රශ්මීන් කරණ කොට දිශා භාගයෝ රත් පියුම් පෙති වදමල් පෙති පතුරවා ලූ කලෙක මෙන් ද, රතු කොඩි වැල් ඇද රතු කොඩි එස වූ කලෙක මෙන් ද, රක්ත වර්ණයෙන් බබලන්නට වූහ.

තථාගතයන් වහන්සේගේ අස්ථීන්ගෙන් හා දන්තයන්ගෙන් ද, නේත්‍රයන්ගේ ශ්වේතස්ථාන වලින් ද ඕදාත රශ්මීහු නික්මුණහ. ඒ රශ්මීන් කරණ කොට ඉද්ද මල් කොඳ මල්, සුදු නෙළුම් මල්, වසින්නාක් මෙන් ද, සුදු කොඩි නංවා සුදු කොඩි වැල් ඇද සරසන ලද්දක් මෙන්ද, රිදී කලවලින් කිරි විසුරවන්නාක් මෙන් ද, දහස් ගණන් දස දහස් ගණන් රිදී තල් වැට එක විට සැලෙන්නාක් මෙන් ද දිශාභාගයෝ බැබලුණහ.

තථාගත දේහයේ ඒ ඒ තැන් වලින් මාඤ්ජිෂ්ඨක ප්‍රභාස්වර රශ්මීහු නික්මුණහ. ඒ රශ්මීන් කරණ කොට එක විට දෙව්දුනු දහස් ගණනක් පහළ වූවාක් මෙන් ද, හිර සඳ දහස් ගණනක් උදාවූවාක් මෙන් ද, ලෝකය ආලෝකවත් විය. එදා ලෝක ධාතූන්හි බුදුරැස් පැතිරෙන කල්හි දිව්‍ය ලෝකවල දෙවියන්ගේ හා ඔවුන්ගේ විමානාදියේ ආලෝකයෝ හිරු රැසට කණ මැදිරියන්ගේ එළිය යට වන්නාක් මෙන් යට වී ගියහ. එක විට දස දහසක් ලෝක ධාතූන්හි ආලෝකවත් කිරීම සමත් මහා බ්‍රහ්මයෝ එදා හිරු උදාවන කල කණමැදිරියන් මෙන් වූහ. චන්ද්‍ර සූර්‍ය්‍යාලෝකයෝ බුදු රැසින් වැසී ගියහ. එදා තථාගත ශ්‍රී දේහයෙන් නික්මුණ රශ්මීහු අද දක්වාත් ඈත ලෝක ධාතුවල හා අජටාකාශයෙහි දශ දිශාවෙහි ම ගමන් කරන බව කියා තිබේ.

“අයඤ්ච නෙව බුද්ධානං අධිට්ඨානිද්ධි, න භාවනාමයිද්ධි, සණ්හසුඛුමධම්මං පන සම්මසතො ලොකනාථස්ස ලොහිතං පසීදි වත්ථුරූපං පසීදි. ඡවිවණ්ණො පසිදී. චිත්තසමුට්ඨානා වණ්ණධාතු සමන්තා අසීතිහත්ථමත්තෙ පදෙසෙ නිච්චලාව අට්ඨාසි.”

(ධම්මසංගණී අට්ඨකථා 12)

මේ බුද්ධරශ්මීහු නික්මීම බුදුරදුන්ගේ අධිෂ්ධානිර්ධියක් ද නොවේ. භාවනාමයිර්ධියක් ද නොවේ. සණ්හසූක්ෂ්ම ධර්මය සම්මර්ශන කරන්නා වූ ලෝකනාථයන් වහන්සේගේ රුධිරධාතුව පැහැදිණ. හෘදය වස්තු රූපය පැහැදිණ. ඡවිවර්ණය පැහැදිණ. එයින් ශරීරයෙන් ෂට්වර්ණ රශ්මීහූ නික්මුණාහු ය. තථාගත දේහය හාත්පස අසූරියනක් තැන රශ්මිය නිශ්චලව පිහිටා සිටියේ ය යනු එහි තේරුම ය.

කේතුමාලාරශ්මිය යනු තථාගතයන් වහන්සේගේ ශීර්ෂයෙන් අසූරියන් උසට නැඟ සිටින රශ්මියෙකි. සිද්ධාර්ථ කුමාරයන් නේරඤ්ජරා නදීතීරයේ දී පැවිදි වනු සඳහා හිසකේ සියල්ල එකතු කොට අල්ලා කඩුවෙන් කැපූ පසු හිස ඉතිරි වූ කේශයෝ දක්ෂිණාවර්තව හිසට ඇලී බුබුළු වශයෙන් සිට ගත්හ. ඒවා නැවත නො වැඩී එපමණින්ම සිට ගත්හ. බුදුවීමෙන් පසු ඒ කේශධාතුන්ගෙන් අසූරියනක් උසට නීලවර්ණ රශ්මියක් විහිදෙන්නට විය. එයට කේතුමාලාව ය යි කියනු ලැබේ. ෂට්වර්ණරශ්මිධාරාවන් ද එකතු වී පවත්නා ඒ කේතුමාලාව සත්රුවනින් සැරසූ නිල්මිණි ඔටුන්නක් සේ ලෝකනාථයන් වහන්සේගේ හිසමත බබලන්නේ ය.

බුදුරදුන්ගේ දෙබැම අතර නළල්තලයෙහි පිහිටි ඌර්ණරෝම ධාතුවෙන් විහිදෙන ශ්වේතරශ්මිය ඌර්ණරෝමප්‍රභා නම් වේ.

තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි පිහිටි සතර දාඨාධාතුන්ගෙන් නික්මෙන්නා වූ රශ්මිය දාඨාප්‍රභා නමි, තථාගත ශ්‍රී මුඛයේ දාඨාධාතුන් තොල් සඟලින් වැසී පවත්නා බැවින් නිතර නො දැකිය හැකි ය. උන් වහන්සේ සිනා පහළ කරන අවස්ථාවලදී ඒවායේ අග විවෘත වන්නේ ය. විවෘත වනු සමඟ ම ඒවායින් විදුලිය බඳු ශුභ්‍රවර්ණරශ්මි මාලාවෝ නික්ම තථාගතයන් වහන්සේගේ මුඛශෝභාව වර්ධනය කරන්නාහ.

දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසූ අනුව්‍යාඤ්ජන ලක්ෂණයෙන් ද අනේක රශ්මීන්ගෙන් ද ශෝභන වූ බුදුරදුන්ගේ දේහශ්‍රීය ඇති සැටියට වර්ණනා කිරීමට අපට වචන නැත්තේ ය. උපමා නැත්තේ ය. පරමරූපශ්‍රීයෙන් යුක්ත වන තථාගත දේහය පමණ දෙවිමිනිසුන්ගේ නෙත් සිත් පිනවන අන් වස්තුවක් නැත්තේ ය. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය මිනිසා දුටු විට බිය වී පළා යන තිරිසන් සතුන්ගේ ද නෙත් පිනවන්නකි. තථාගත දේහය දුටු විට සෙසු මිනිසුන් දුටු විට බිය වී පළා යන තිරිසන් සත්හු ද ඇසි පිය නො හෙලා බලා සිටිති. ඒ තථාගත දේහශ්‍රීය දෙවිමිනිසුන්ගේ නෙත් සිත් පිණවීම ගැන කවර කථා ද? මෙතෙකින් විස්තර කරන ලද්දේ තථාගතයන් වහන්සේගේ දේහශ්‍රීය පමණකි. උන් වහන්සේගේ ශ්‍රී ගුණය විස්තර කිරීමේ දී ගමනශ්‍රීය, ධර්මදේශනාශ්‍රීය, ඉරියව් පැවතීමේ ශ්‍රීය, අනේක ක්‍රියා සිදු කිරීමේ ශ්‍රීය, අනන්තඥානශ්‍රීය, මෛත්‍රී කරුණාදී අනන්තගුණ ශ්‍රී ය යන මේවා ද විස්තර කළ යුතු ය. අනන්තශ්‍රී සංඛ්‍යාත භාග්‍යයෙන් යුක්තවන බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වෙති.

5. කාම භාග්‍යය.

ප්‍රාර්ථනා කරන සිදු කිරීමට බලාපොරොත්තු වන සිදු කිරීමට උත්සාහ කරන ආත්මාර්ථපරාර්ථයන්ගේ සිද්ධිය කාමභාග්‍ය නම් වේ. තමාගේ යහපත පිණිස හෝ සිදු කිරීමට බලාපොරොත්තු වන දේවල් බලාපොරොත්තු වන සැටියට සැමට ම සිදු නොවේ. සිදු කිරීමට සැම දෙනම සමත් නො වෙති. මහාබෝසතාණෝ දීපංකර බුදුරදුන් හමුවේදී ලොව්තුරා බුදුබවට පැමිණීම වූ මහත් වූ අර්ථයක් පැතූහ. උන්වහන්සේට පැතූ පරිදි එය සිදු විය. එය සිදු කර ගැනුමට උන් වහන්සේ සමත් වූහ. ලොවුතුරා බුදුබවට පැමිණ තමන් වහන්සේ සසරින් එතර වී තවත් සත්ත්වයන් සසරින් එතර කරවීමට උන් වහන්සේ බලාපොරොත්තු වූහ. සූවිසි අසංඛ්‍යයක් සත්ත්වයන් සසරසයුරෙන් එතර කරවිය හැකි වීමෙන් උන් වහන්සේගේ බලාපොරොත්තුව ද එසේම සිදු විය. සසරින් එතර වූ සූවිසි අසංඛ්‍ය හැර තවත් අප්‍රමාණ සත්ත්වයනට මනුෂ්‍ය දිව්‍යබ්‍රහ්මසම්පත් ද උන් වහන්සේට ලබාදිය හැකි විය. අපායට වැටෙන්නට සිටි අපමණ සත්ත්වයෝ උන් වහන්සේ නිසා අපායෙන් මිදී ස්වර්ග සම්පත් ලබාගත්හ. දැනුදු ලබාගන්නාහ. අනාගතයෙහි ද ලබාගන්නාහ. අදහස් කරන පරිදි ආත්මාර්ථපරාර්ථ සිද්ධිය වූ කාමභාග්‍යයෙන් යුක්ත වන බැවින් ද තථාගතයන් වහන්සේ භගවා නම් වන සේක.

6. ප්‍රයත්න භාග්‍යය

ආත්මාර්ථ පරාර්ථසාධනය පිළිබඳ වූ බලවත් වීර්‍ය්‍ය ප්‍රයත්න භාග්‍යය ය. සිදු කරන අර්ථයෙහි විශාලත්වය අනුව ඒ ඒ දෙය සිදු කිරීමට මහත් විර්‍ය්‍යයක් වුවමනා ය. බුද්ධත්වය පමණ මහත් වූ උසස් වූ අන් තත්ත්වයක් නැත. ඒ උසස් තත්ත්වවලට පැමිණීමට එයට සුදුසු මහත් වීර්‍ය්‍යක් වුවමනාය. බෝධි සත්ත්වයන් වහන්සේගේ වීර්‍ය්‍යපාරමිතා සංඛ්‍යාත වීර්‍ය්‍ය තුබූ නිසා උන් වහන්සේට ලොවුතුරා බුදු බව ලැබිය හැකි විය. තථාගතයන් වහන්සේ ලොවුතුරා බුදුබවට පැමිණි පන්සාළිස් වසක් මුළුල්ලෙහි බුද්ධකෘත්‍යය සිදු කළ සේක. ලෝකයෙහි ඇති කෘත්‍යයන් අතරින් සියල්ලට ම මහත් වූ කෘත්‍යය බුද්ධකෘත්‍යය ය. දහස් ගණනක් ජනයා සේවයෙහි යොදවා ගෙන කරන කර්මාන්තයක් වේ නම් එය මහත් වූ කෘත්‍යයකි. එය සිදු කිරීමට එයට ප්‍රමාණවන තරමට මහත් ප්‍රයන්තයක් ද තිබිය යුතු ය. රටක් පාලනය කිරීම එයට වඩා විශාල කෘත්‍යයෙකි. එය සිදු කළ හැකි වීමට ආයතනයක් පාලනය කිරීමේ ප්‍රයන්තයට වඩා මහත් ප්‍රයන්තයක් තිබිය යුතු ය. රටවල් ගණනක් පාලනය කරනවා නම් එය ඉතා මහත් කෘත්‍යයක් වන බැවින් එයට විශාල ප්‍රයන්තයක් තිබිය යුතු ය. නැතහොත් එය නො කළ හැකි ය. දිව්‍යබ්‍රහ්මලෝක සහිත සක්වළ දස දහසක් සත්ත්වයනට යහපත සිදු කිරීම බුද්ධකෘත්‍යය ය. එබඳු මහත් කෘත්‍යයක් රාජාදි අන් කිසිවකුට නැත. රටවල්ගණනක් පාලනය කරන රජකුගේ කෘත්‍යය බුද්ධකෘත්‍යය හා සසඳතහොත් ඉතා සුළු ය. දසදහසක් ලෝක ධාතුවල එද එදාට ධර්මය අවබෝධ කළ හැකි පමණට නුවණ මුහුකුරා ගියවුන් සොයා බලා ඔවුනට චතුස්සත්‍යය අවබෝධ කරවීම බුද්ධකෘත්‍යයෙකි. රත්නත්‍රය කෙරෙහි පහදවා තිසරණයෙහි පඤ්චශීලයෙහි පිහිටවිය හැකියවුන් බලා එසේ කිරීම බුද්ධකෘත්‍යයෙකි. දානාදි පින්කම්වල යෙදෙවිය හැකි පුද්ගලයන් බලා ඔවුන් ඒවායේ යෙදවීම බුද්ධකෘත්‍යයෙකි. පැවිද්දට සුදුස්සන් සොයා බලා දහම් දෙසා ඔවුන් පැවිද්දෙහි යෙදවීම බුද්ධකෘත්‍යයෙකි. සුදුසු කල් බලා පැවිද්දන්ට සිකපද පැනවීම බුද්ධකෘත්‍යයෙකි. පැවිදි වූවන්ට අර්හත්වයට පැමිණිය හැකිවීම පිණිස ඒ පුද්ගලයන්ට සුදුසු කමටහන් කියා දීම බුද්ධකෘත්‍යයකි. කමටහන් ගෙන ආරණ්‍යාදී විවේකස්ථානවල මහණදම් පුරන පැවිද්දන්ගේ තතු සොයා ඔවුන්ට සුදුසු උපදෙස් දීම බුද්ධකෘත්‍යයකි. භේද වූවන් සමගි කිරීම බුද්ධකෘත්‍යයෙකි. පැවිද්දන්ට පිණ්ඩපාතය සුලභ කිරීම බුද්ධකෘත්‍යයෙකි. ආයු ගෙවී ඇති එදිනෙදා මිය අපායට යන්නට සිටින්නවුන් වෙත ගොස් ඔවුනට සුගතියෙහි ඉපදීමට සැලැස්වීම බුද්ධකෘත්‍යයෙකි. මිත්‍යාධර්ම පතුරුවා ජනයා නො මඟ යවන ජනයන් අපාමඟට පමුණුවන, ජනයාට සගමොක් මඟ වසන මිත්‍යාදෘෂ්ටිකයන් මැඩලීම බුද්ධකෘත්‍යයෙකි. මිථ්‍යාධර්ම අසා මිසදිටු ගෙන සිටිනා ජනයා සම්‍යක්දෘෂ්ටියෙහි පිහිටවීම බුද්ධකෘත්‍යයෙකි. විපතට පත්වන්නට යන ජනයා ඉන් මුදාලීම බුද්ධකෘත්‍යයෙකි. තථාගතයන් වහන්සේ දිවා රාත්‍රි දෙකෙහි අනසලව පසුබැස්මක් නැතිව මහත් උත්සාහයෙන් ඒ බුද්ධකෘත්‍යයන් සිදු කරන සේක. බුද්ධකෘත්‍යයන් සඳහා යොදුන් ගණන් දුර මඟ ගෙවා පා ගමනින්ම ද වැඩ ම කරන සේක. රජුන්ගෙන් සිටුවරුන්ගෙන් මහධනපතීන්ගෙන් ලැබෙන ප්‍රණීත භෝජනයන් හැර දුගියන්ට අනුකම්පාවෙන් ඔවුන් පිරිනමන නීරස බොජුන් වළඳනා සේක. දෙව්විමනක් බදු මනරම් ගඳකිළියක් තිබිය දී මැසි මදුරුවන් ගහන කැලෑවල වැඩ වෙසෙන සේක. රුක්මුල්හි වැඩ වෙසෙන සේක. කිසිදු සෙවනක් නැති පිට්ටනි වලද රාත්‍රිය ගත කරන සේක. ගුහාවල මඩුවල රාත්‍රිය ගත කරන සේක. මාරාන්තික රෝගයකින් පෙළෙමින් අතිශයින් දුබලව විසූ පිරිනිවන් පානා දින රාත්‍රියේ ද ඒ මහා වීරයන් වහන්සේ අවසන් මොහොත පැමිණෙන තෙක් ම වීර්‍ය්‍යය නො හැර බුද්ධකෘත්‍යය සිදු කළ සේක. පිරිනිවන් මඤ්චකයෙහි සැතපුණු භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට හා පැමිණ සිටි භික්ෂූන්ට දහම් දෙසූ සේක. දීර්ඝ සූත්‍ර දේශනයක් වන මහා සුදර්ශන සූත්‍රය ඒ රාත්‍රියේ දී ම දේශනය කළ සේක. සුභද්‍ර නම් පිරිවැජියාට දහම් දෙසා ඔහුගේ සැක දුරු කරවා සස්නෙහි පැවිදි කරවූ සේක. ලොව්තුරා බුදු බව ලබා දීමට සමත් වූ ද, සකල බුද්ධ කෘත්‍යයන් සිදු කිරීමට සමත් වූ ද, සම්‍යක් ව්‍යායාම සංඛ්‍යාත මහා ප්‍රයත්නය ඇති බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වන සේක.

සැරියුත් මහා තෙරුන් වහන්සේගේ අර්ථ විවරණය

දම් සෙනවි සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් නිද්දේස පාළියෙහි භගවා යන පදයෙහි අර්ථ විවරණය මෙසේ කර තිබේ.

“භගවාති ගාරවාධි වචනං, අපිච භග්ගරාගොති භගවා, භග්ගදොසොති භගවා, භග්ගමොහොති භගවා, භග්ගමානොති භගවා, භග්ගදිට්ඨිති භගවා, භග්ගකණ්ඨකොති භගවා, භග්ගකිලෙසොති භගවා, භජි විභජි ධම්මරතනන්ති භගවා, භවානං අන්තකරොති භගවා, භාවිතකායො භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති භගවා, භජි වා භගවා, අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝෝසානි මනුස්සරාහසෙය්‍යකානි පටිසල්ලානසාරුප්පානීති භගවා, භාගී වා භගවා චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්පච්චය භෙසජ්ජ පරික්ඛාරානන්ති භගවා, භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුක්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා, භාගීවා භගවා චතුන්නං ඣානානං චතුන්නං අප්පමඤ්ඤාණං චතුන්නං අරූපසමාපත්තීනන්ති භගවා, භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා, භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං ආනාපානසතිසමාධිස්ස අසුභසමාපත්තියානි භගවා, භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං ඉද්ධපාදානං පඤ්චන්නං ඉන්ද්‍රියානං පඤ්චන්නං බලානං සත්තන්නං බෝජ්ඣංගානං අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සාති භගවා, භාගී වා භගවා දසන්නං තථාගතබලානං චතුන්නං වෙසාරජ්ජානං චතුන්නං පටිසම්භිදානං ඡන්නං අභිඤ්ඤානං ඡන්නං බුද්ධ ධම්මානන්ති භගවා,

භගවාති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චේහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්‍රාහ්මණෙහි කතං, න දෙවතානි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධාඣංනං භගවන්තානං බෝධියාමූලෙ සහසබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති.

(තිස්සමෙත්තෙය්‍ය සුත්තනිද්දෙස)

තේරුම:

භගවා යනු ගරු කළ යුතු උත්තම පුද්ගලයන්ගේ ගරු කළ යුතු භාවය පැවසෙන වචනයකි. තවද තථාගතයන් වහන්සේ රාගය නැසූ බැවින් භගවා නම් වෙති. ද්වේෂය නැසූ බැවින් භගවා නම් වෙති, මෝහය නැසූ බැවින් භගවා නම් වෙති. දෘෂ්ටීන් නැසූ බැවින් භගවා නම් වෙති, කෙලෙස් නමැති කටු නැසූ බැවින් භගවා නම් වෙති, කෙලෙස් නැසූ බැවින් භගවා නම් වෙති, ධර්මරත්නය උද්දේශ වශයෙන් විභාග කළ බැගින් නිර්දේශ වශයෙන් අනේකාකාරයෙන් විභාග කළ බැවින් ප්‍රතිනිර්දේශ වශයෙන් අනේකප්‍රකාරයෙන් විභාග කළ බැවින් භගවා නම් වෙති, කාම භවාදි භවයන් කෙළවර කළ බැවින් භගවා නම් වෙති, කරන ලද කායභාවනා ඇති බැවින් සීල භාවනා ඇති බැවින් චිත්තභාවනා ඇති බැවින් ප්‍රඥා භාවනා ඇති බැවින් භගවා නම් වෙති. ශබ්ද නැති ඝෝෂා නැති ජනයාගේ ශරීරවල සැපී එන වාතය නැති මිනිසුන්ගේ රහස් වැඩට යෝග්‍ය වූ විවේකීව විසීමට යෝග්‍ය වූ නගරග්‍රාමයන්ට දුර වූ අරණ්‍යයෙහි වූ සෙනසුන් භජනය කළ බැවින් භගවා නම් වෙති. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චය යන ප්‍රත්‍යයන් ලබන බැවින් භගවා නම් වෙති. අර්ථරස ධර්මරස විමුක්තිරස අධිශීල අධිචිත්ත අධිප්‍රඥාවන් ලබා ඇති බැවින් භගවා නම් වෙති. සතරක් වූ ධ්‍යානයන් සතරක් වූ බ්‍රහ්ම විහාරයන් සතරක් වූ අරූපසමාපත්තීන් භජනය කළ බැවින් භගවා නම් වෙති. අටක් වූ විමෝක්ෂයන් අටක් වූ අභිභායතනයන් නවයක් වූ අනූපූර්ව විහාර සමාපත්තීන් ඇති බැවින් භගවා නම් වෙති. දශයක් වූ සංඥාභාවනාය දශයක්වූ කසිණ සමාපත්තිය ආනාපානසති සමාපත්තිය අසුභසමාපත්තිය යන මේවා ඇති බැවින් භගවා නම් වෙති. සතරක් වූ සතිපට්ඨානයන් සතරක් වූ සම්මප්පධානයන් සතරක් වූ ඍද්ධිපාදයන් පසක් වූ ඉන්ද්‍රියයන් පසක් වූ බලයන් සතක් වූ බෝධ්‍යංගයන් හා ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය භජනය කල බැවින් භගවා නම් වෙති. දශයක් වූ තථාගත බලයන් සතරක් වූ වෛශාරද්‍යඥානයන් සතරක් වූ පටිසම්භිදාවන් සයක් වූ අභිඥාවන් සයක් වූ බුද්ධ ධර්මයන් ඇති බැවින් භගවා නම් වෙති.

භගවා යන මේ නාමය මව විසින් කරන ලද්දක් ද නොවේ. පියා විසින් කරන ලද්දක් ද නො වේ. සහෝදරයා විසින් සහෝදරිය විසින් මිත්‍රයන් විසින් සමඟ වාසය කරන්නන් විසින් නෑයන් සහලේ නෑයන් විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් දෙවියන් විසින් කරන ලද්දක් ද නොවේ. භගවා යන මේ නාමය ලොවුතුරා බුදුවරුන්ට අර්හත්ඵලයාගේ කෙළවරදී ලැබෙන නාමයකි. ලොවුතුරා බුදුවරුන්ට බෝධිමූලයේදී සර්වඥතාඥානය ලැබීම හේතු කොට ලැබෙන නාමයකි.

මේ මහානිද්දේස පාඨය විස්තර කරතහොත් මහා ග්‍රන්ථයක් සැපයීමට තරම් කරුණු එයට ඇතුළත් වී ඇත්තේ ය. තවත් නොයෙක් ආකාරවලින් ද භගවා යන පදය වර්ණනා කර ඇත්තේ ය.

බුදුගුණවලින් අප දන්නේ ස්වල්පයකි. ඒ අප දන්නා බුදුගුණ වුව ද ලියත හොත් ලිවීමට අපේ ආයුෂ මඳ ය යි සිතමු. සජ්ජනයන්ට බුද්ධරත්නය කෙරෙහි ප්‍රසාදය ඇති කර ගැනීමට මේ ග්‍රන්ථයෙහි දැක්වුණු බුදුගුණ ප්‍රමාණවත් බැවින් බුද්ධගුණ වර්ණනාව මෙතෙකින් අවසන් කරනු ලැබේ.

ධර්ම රත්නය

ධම්ම යනු පිටකත්‍රයෙහි ඉතා සුලභ දහස් ගණන් තැන්වල දක්නට ලැබන වචනයකි. එහි අනේකාර්ථ ඇත්තේ ය. බොහෝ අර්ථ ඇත්තේ ය. ධම්ම පදය දුටු කල්හි සැම තැනදී ම එක් අර්ථයක්ම නො ගෙන තැනට සුදුසු අර්ථය ගත යුතු ය. මෙහි අප විසින් විස්තර කරන්නට යන්නේ “ධම්මං සරණං ගච්ඡාමි” යන වැකියෙහි ධම්ම යන වචනයේ අර්ථය ය. ඒ වචනයෙන් කියැවෙන්නේ පර්‍ය්‍යාප්ති ධර්මය හා නව ලෝකෝත්තර ධර්මය ද යන සත්ත්වයනට පිහිට වන දස වැදෑරුම් ධර්මය ය.

සියල්ල දත්තා වූ මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් පන්සාළිස් වසරක් මුළුල්ලෙහි ඒ ඒ තැන්වලදී වදාළ සුපරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය දක්වන්නා වූ බුද්ධවචන රාශිය පර්යාප්ති ධර්ම නම් වේ. එය ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් වේ. බුද්ධවචන සමූහයෙන් විනය පිටකය විනය නම් වේ. අන් බුද්ධවචන සියල්ල ධර්ම නම් වේ. තවද ඒ බුද්ධවචන රාශිය ප්‍රථම බුද්ධවචන, මධ්‍යම බුද්ධ වචන, පශ්චිම බුද්ධවචන වශයෙන් ත්‍රිවිධ වේ. අප මහාබෝසතාණන් වහන්සේ වෙසක් මස පුණ්පොහෝ දිනයක සන්ධ්‍යාකාලයේ චතුරංගවීර්‍ය්‍යාධිෂ්ඨානයෙන් මහාබෝධිමූලයේ වැඩ හිඳ යුදයට පැමිණි වසවත් මරු හිරු අවර වන්නට පළමුව ම පරාජය කොට භාවනාවෙහි යෙදෙන සේක්, ඒ රාත්‍රියේ ප්‍රථමයාමයේදී පෙර විසූ අත්බැව් පිළිවෙළ දැකිය හැකි පූර්වේනිවාසානුස්මෘතිඥාන උපදවා මධ්‍යමයාමයෙහි ලෝකයෙහි ඒ ඒ තැන මැරෙන උපදින සත්ත්වයන්ගේ මරණෝත්පත්ති දක්නා දිව්‍යංචක්ෂුරභිඥානය උපදවා, පශ්චිමයාමයෙහි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රතීත්‍යසමුත්පාදය සම්මර්ශනය කොට අනතුරුව ආනාපාන චතුර්ථධ්‍යානය උපදවා, විදර්ශනා කොට මඟපල පිළිවෙළින් අරුණෝද්ගමනයේදී අර්හත්වයට පැමිණ ලොවුතුරා බුදුබව ලබා සියලු බුදුරදුන්ගේ සිරිත පරිදි උදන් ඇනීම් වශයෙන්,

“අනෙකජාතිසංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං,
ගහකාරකං ගවෙසන්තො - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨොසි - පුන ගෙහං න කාහසි
සබ්බ තෙ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා.”

යන දෙ ගය වදාළ සේක. ඒ ප්‍රථම බුද්ධවචනය ය. එතැන් පටන් පන්සාළිස් වසරක් ලෝවැඩ කෙරෙමින් වැඩ වදාළා වූ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී භික්ෂූන් අමතා අන්තිමට ම වදාළ “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො, වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යන වදන පශ්චිම බුද්ධවචනය ය. එදෑතුරෙහි වදාළ බුදුවදන් සියල්ල මධ්‍යමබුද්ධවචන නම් වේ.

බුදු වදන් සියල්ල විනය පිටකය, සූත්‍රපිටකය, අභිධර්ම පිටක යයි පිටක වශයෙන් ත්‍රිවිධ වේ. සමාන ලක්ෂණ ඇති බුද්ධ වචන සමූහයෝ පිටක නම් වෙති. ප්‍රාතිමෝක්ෂ දෙකය, විභංග දෙකය, ඛන්ධක දෙවිස්සය, පරිවාර සොළසය යන මෙය විනය පිටකය නම් වේ. දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දකපාඨ - ධම්මපද - උදාන - ඉතිවුත්තක - සුත්ත නිපාත - විමානවත්ථු - පේතවත්ථු - ථෙරගාථා - ථෙරිගාථා - ජාතක - නිද්දේස - පටිසම්භිදා - අපදාන - බුද්ධ වංස - චරියාපිටක යන මොවුන්ගේ වශයෙන් පසළොස් වැදෑරුම් ඛුද්දක නිකාය යන මේ ධර්ම රාශිය සූත්‍රපිටක නම් වේ. ධම්ම සංගණී - විභංග - ධාතු කථා - පුග්ගල පඤ්ඤත්ති - කථාවත්ථු - යමක - පට්ඨාන යන ප්‍රකරණ සත අභිධර්ම පිටකය ය.

තවද පර්‍ය්‍යාප්ති ධර්මය නිකාය වශයෙන් දීඝනිකාය මජ්ඣිමනිකාය සංයුක්තනිකාය අංගුත්තරනිකාය ඛුද්දකනිකාය ය යි පසකට ද බෙදා තිබේ.

දීර්ඝ වූ සූත්‍රයන්ගේ සංග්‍රහය දීඝනිකාය නම් වේ. එහි ශීලස්කන්ධ වර්ගය මහාවර්ගය පාථෙය්‍ය වර්ගය යි වර්ගත්‍රයක් හා සූත්‍ර සූතිසක් ඇත්තේය.

“චතුත්තිංසෙව සුත්තන්තා - තිවග්ගො යස්ස සංගහො,
එස දීඝනිකායොති - පඨමො අනුලොමිකො.”

මධ්‍යම ප්‍රමාණ සූත්‍රයන්ගේ සංග්‍රහය මජ්ඣිමනිකාය නම් වේ. එහි වර්ග පසළොසකින් සංගෘහිත සූත්‍ර එකසිය පනස් දෙකක් ඇත්තේ ය.

“දියඩ්ඪසත සුත්තන්නා - ද්වේව සුත්තානි යත්ථ සො
නිකායො මජ්ඣිමො පඤ්ච - දසවග්ගපරිග්ගහො.”

දේවතා සංයුත්තාදි වශයෙන් සිටි ඕඝතරණ සූත්‍රය ආදි කොට ඇති සත් දහස් සත්සිය සැට දෙකක් සංග්‍රහය සංයුත්තනිකාය නම් වේ.

“සත්ත සුත්ත සහස්සානි - සත්තසුත්ත සතානි ච,
ද්වාසට්ඨි චෙව සුත්තන්තා - එසො සංයුත්තසංගහො

එක් එක් අංගය අතිරේක වශයෙන් සිටියා වූ චිත්තපර්‍ය්‍යාදාන සූත්‍රාදි නව දහස් පන්සිය පනස් සතක් වූ සූත්‍රයන්ගේ සංග්‍රහය අංගුත්තර නිකාය නම් වේ.

නවසුත්ත සහස්සානි - පඤ්චසුත්ත සතානි ච,
සත්තපඤ්ඤාස සුත්තානි - සංඛා අංගුත්තරෙ අයං

දීඝනිකායාදි නිකාය සතර හැර ඉතිරි බුදු වදන් සියල්ල ඛුද්දක නිකාය නම් වේ. විනය පිටකය හා අභිධර්ම පිටකය නිකාය වශයෙන් ධර්මය බෙදීමේදී ඛුද්දකනිකායට අයත් වේ.

ඨාපෙත්වා චතුරො පෙතෙ - නිකායෙ දීඝ ආදිකෙ,
තදඤ්ඤං බුද්ධ වචනං - නිකායො ඛුද්දකො මතො,”

(සමන්තපාසාදිකා)

පර්‍ය්‍යාප්ති ධර්ම සංඛ්‍යාත බුද්ධ වචන සමූහය ධර්මස්කන්ධ වශයෙන් සුවාසූ දහසක් වන්නේය. මහාසතිපට්ඨාන සූත්‍රාදි එක් අනුසන්ධියක් ඇත්තා වූ සූත්‍රයක් එක් ධර්මස්කන්ධයකි. “එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා” යනාදීන් සතිපට්ඨානයන් සැකෙවින් දක්වා ඒවාම විභාග කරන බැවින් සතිපට්ඨාන සූත්‍රය ඒකානුසන්ධික සූත්‍රයෙකි. අනේකානුසන්ධික සූත්‍රයන්හි අනුසන්ධික ගණන අනුව ධර්මස්කන්ධ ගණන් ගනු ලැබේ. ගාථාවන්හි ප්‍රශ්න ඇසීම එක් ධර්මස්කන්ධයක් වශයෙන් ද පිළිතුරු දීම අනික් ධර්මස්කන්ධයක් වශයෙන් ද ගණන් ගනු ලැබේ.

“කති ඡින්දෙ කති ජහෙ - කති චුත්තරි භාවයෙ,
කති සංගාතිගො භික්ඛු - ඔඝතිණ්ණොති චුච්චති”

මේ ප්‍රශ්න ගාථාව එක් ධර්මස්කන්ධයෙකි.

“පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ - පඤ්ච චුත්තරි භාවයෙ,
පඤ්ච සංගාතිගො භික්ඛු - ඔඝතිණ්ණොති චුච්චති.”

මේ විසර්ජනය එක් ධර්මස්කන්ධයෙකි. අභිධර්මයෙහි එක් එක් තික දුක විභාගයක් එක් ධර්මස්කන්ධයෙකි. එක් එක් චිත්තවාර විභාගයක් එක් ධර්මස්කන්ධයෙකි.

කතමෙ ධම්මා කුසලා? තීණි කුසලමූලානි අලොභො අදොසො අමොහො තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සංඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං ඉමෙ ධම්මා කුසලා, කතමෙ ධම්මා අකුසලා? තීණි අකුසලමූලානි ලොභො දෙසො මොහො තදෙකට්ඨා ච කිලෙසා තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- මනොකම්මං, ඉමෙ ධම්මා අකුසලා, කතමෙ ධම්මා අව්‍යාකතා? කුසලාකුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වේදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, යෙ ච ධම්මා ක්‍රියා නෙව කුසලා නාකුසලා න ච කම්ම විපාකා සබ්බඤ්ච රූපං අසංඛතා ච ධාතු ඉමෙ ධම්මා අබ්‍යාකතා.

මේ අභිධර්මයෙහි එක් ධර්මස්කන්ධයෙකි.

විනයෙහි සිකපද පිළිබඳ වස්තු ඇත්තේය, මාතිකා ඇත්තේය, පදභාජනිය ඇත්තේය, අන්තරාපන්ති ඇත්තේය, අනාපත්ති ඇත්තේය, ත්‍රිකපරිච්ඡේද ඇත්තේය, ඒ එක් කොට්ඨාසයක් එක් ධර්මස්කන්ධයෙකි. එහි වස්තු නම් ඒ ඒ සිකපද පැනවීමට නිමිත්ත වූ සුදින්නකථාදිය ය. මාතෘකා යනු “යො පන භික්ඛු භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො සික්ඛං අපච්චක්ඛාය” යනාදි සිකපදයෝ ය. පදභාජනිය යනු සිකපදයේ වචන විස්තර කිරීමය. අන්තරාපත්ති යනු සිකපද ඇතුළත ම පනවා ඇති කුඩා සිකපදයෝය. අනාපත්ති යනු සිකපදය සම්බන්ධයෙන් ඇවැත් නො වීම දක්වන “අනාපත්ති අජානන්තස්ස අසාදියන්තස්ස උම්මත්තකස්ස ඛිත්තචිත්තස්ස වෙදනට්ඨස්ස ආදිකම්මිකස්ස” යනාදි ඇවැත් නො වීම දක්වන කොටස ය. ත්‍රිකපරිච්ඡේද යනු “දසහාතික්කන්තෙ අනික්කන්තසඤ්ඤී නිස්සග්ගියං පාචිත්තියං, දසාහාතික්කන්තේ වෙමතිකො නිස්සග්ගියං පාචිත්තියං, දසාහාතික්කන්තේ අනතික්කන්තසඤ්ඤී නිස්සග්ගියං පාචිත්තියං” යනාදී ත්‍රිකපාචිත්ති ත්‍රිකදුෂ්කෘතාදි ප්‍රභේදය දක්වන කොටස ය. මෙසේ වූ ධර්මස්කන්ධ විසි එක් දහසක් විනය පිටකයෙහි ඇත්තේය. සූත්‍ර පිටකයෙහි ද විසි එක් දහසක් ඇත්තේය. අභිධර්ම පිටකය විශාලය. එහි ධර්මස්කන්ධ සතළිස් දෙදහසක් ඇත්තේ ය. මුද්‍රිත පොත් බැලුවාම අභිධර්ම පිටකය කුඩා සේ පෙනෙන්නේ එය “පේයාල” යොදා කෙටිකර ඇති බැවිනි.

නවලෝකෝත්තර ධර්මය

සෝවාන් මාර්ගය සකෘදාගාමීමාර්ගය අනාගාමීමාර්ගය අරහත්මාර්ගය යන ආර්‍ය්‍යමාර්ග සතරය, සෝවාන්ඵලය සකෘදාගාමීඵලය අනාගාමීඵලය, අර්හත්ඵලය යන ආර්‍ය්‍ය ඵල සතරය, නිර්වාණ ධාතුවය යන ධර්ම නවය නවලෝකෝත්තර ධර්ම නම් වේ. ලෝකෝත්තර ධර්මයෝ ය යන්නෙහි තේරුම සත්ත්වයන් ලෝකයෙන් එතෙර කරවන්නාවූ ද ලෝකය ඉක්මවා සිටින්නා වූ ද ධර්මයෝය යනුයි. නවලෝකෝත්තර ධර්මයන් අතුරෙන් ආර්‍ය්‍යමාර්ග සතර හා ආර්‍ය්‍ය ඵල සතර පිළිවෙත් පිරීමෙන් තම තමන් කෙරෙහි වෙන වෙනම උපදවා ගත යුතු ධර්මයෝ ය. නිර්වාණය ලෝකෝත්තර ඥානවලින් ප්‍රත්‍යක්ෂ කර ගත යුතු ධර්මයෙකි. පර්‍ය්‍යාප්ති ධර්මය අසා බලා දැරිය යුතු ධර්මයෙකි.

ලෝකෝත්තර මාර්ගයන්ගේ බලය

යමෙක් ප්‍රථම ආර්‍ය්‍ය මාර්ගය වූ සෝවාන්මාර්ගය සිය සතන්හි උපදවා ගත්තේ වේ නම් එහි බලයෙන් ඔහුගේ සන්තානයෙහි දෘෂ්ටි විචිකිත්සා මතු කිසිම කලෙක අන් ජාතියකදී වුවද නූපදනා පරිදි දුරුවන්නේය. අපායෝත්පත්තියට හේතුවන කර්මයන් කරන තරමට ඖදාරික වූ ලෝභාදි අන්‍ය ක්ලේශයෝ ද දුරුවෙති. එබැවින් වර්මාන ජාතියේ තබා අනාගත ජාතිවලදී අපායෝත්පත්තියට හේතුවන තරමට බලවත් වූ පව්කම් ඔහු අතින් නො කෙරෙන්නේය. සත්ත්වයා අපායෙහි උපදින්නේ සක්කාය දෘෂ්ටිය ඇතිතාක් පමණෙකි. සත්කාය දෘෂ්ටිය ප්‍රහීණ බැවින් ඔහුට ඇති අතීත අකුශලකර්මයෝද ඔහු අපායෙහි උපදවාලීමට සමත් නො වෙති. ප්‍රථම මාර්ගයේ බලයෙන් ඔහු කිසි කලෙක අපායෙහි නූපදනා පුද්ගලයෙක් වෙයි. ප්‍රථම මාර්ගඥානය උපදවා චතුස්සත්‍යයන් ප්‍රත්‍යක්ෂ කළ පුද්ගලයාගේ සන්තානයෙහි එහි ආනුභාවයෙන් බෝධිපාක්ෂිත ධර්මයෝ ක්‍රමයෙන් වැඩෙති. ක්ලේශයෝ පිරිහෙති. ඔහු නිවන් මඟ ඉදිරියටම යන්නේ ය. ආපසු නො එන්නේ ය. එබැවින් ඔහු සසර පමා වුව ද ජාති සතකදී සියලු කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ නිවනට පැමිණෙන්නේය.

සකෘදාමී මාර්ගය නම් වූ ද්වීතීය ආර්‍ය්‍යමාර්ගය උපදවා ගත් කල්හි එහි බලයෙන් සෝවාන්මාර්ගයෙන් ප්‍රහාණය නොවී ඒ පුද්ගලයාගේ සන්නාතයෙහි ඉතිරිව තිබු කාමරාගාදීහු තුනී වෙති. තුනී වීමය යනු නිතර නූපදනා බවට පැමිණීම හා කලාතුරකින් උපනද සියුම් ලෙස පමණක් උපදනා බවට පත්වීමය. කාමරාගය අප්‍රහීණ බැවින් සෝවාන් පුද්ගලයෝ මෛථුන සේවනය ද කෙරෙති. සකෘදාගාමී පුද්ගලයන්ට කාම රාගය කලාතුරකින් ඇති වුවද ග්‍රාමධර්මයෙහි යෙදෙන තරමට ඖදාරිකව නූපදී. සකෘදාගාමීමාර්ගයේ බලයෙන් බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමේ වේගයද බලවත් වේ. එබැවින් සකෘදාගාමී පුද්ගලයා ප්‍රමාද වුවද ඉපදීම වශයෙන් මේ ලෝකයට එක් වරකට වඩා නො පැමිණේ.

අනාගාමීමාර්ග නම් වූ තුන්වන ලෝකෝත්තර ආර්‍ය්‍යමාර්ගය ඇති වූ කල්හි එහි බලයෙන් ඒ පුද්ගලයාට කාමරාගය හා ව්‍යාපාදය සම්පූර්ණයෙන් දුරු වන්නේ ය. එබැවින් ඔහු කාමලෝකයෙහි නැවත නූපදින්නේ ය.

අර්හන්මාර්ග සංඛ්‍යාත සතරවන ආර්‍ය්‍යමාර්ගය උපදනා කල්හි එහි බලයෙන් ඒ පුද්ගලයාට ඉතිරිව තුබූ සකලක්ලේශයෝ ප්‍රහීණ වෙති. ඔහු සසර මතු නූපදන්නේ ය. ආර්‍ය්‍යඵලයන්ගෙන් සිදුකරන විශේෂ කෘත්‍ය නැත්තේ ය. ඔවුහු මාර්ගයන් අනුව පවත්නෝය. ඒවාට පැමිණි ආර්‍ය්‍යපුද්ගලයන්ට ඵලසමාපත්තිසුඛය ලැබිය හැකිය.

නිර්වාණධර්මයාගේ ආනුභාවය, ස්ථීරත්වය හා කෙලෙස් නැසීමට ආර්‍ය්‍යමාර්ගයන්ට සහාය වීමය. ලෝකයෙහි ඇති අන්‍යවස්තුහූ පරණ වීමෙන් නරක් වෙති. කලෙකදී සම්පූර්ණයෙන් ම විනාශ වෙති. පරණ වීමෙන් නරක් වන ස්වාභාවය හා නැසෙන ස්වාභාවය නිවනට නැත. එබැවින් රහත්ව පිරිනිවන් පාන්නා වූ පුද්ගලයාට නිවීම නැති වී ගොස් නැවත සසරට එන්නට සිදු නො වේ.

තවත් ක්‍රමයකින් ධර්ම විභාගය

පර්‍ය්‍යාප්ති ධර්මය, ප්‍රතිපත්ති ධර්මය, ප්‍රතිවේධ ධර්මය, කියා ද ධර්මය තුන් ආකාර වේ. සූත්‍රාභිධර්ම විනය සංඛ්‍යාත පිටකත්‍රය පර්‍ය්‍යාප්ති ධර්ම නම් වේ. එහි ශ්‍රාවකභාෂිත - සෘෂිභාෂිත - දේවභාෂිතයෝ ද ඇත්තාහ. අනංගණසූත්‍රය, සම්මාදිට්ඨී සූත්‍රය, අනුමාන සූත්‍රය, චූලවේදල්ල සූත්‍රය, මහාවේදල්ල සූත්‍රය යනාදීහු ශ්‍රාවක භාෂිතයෝ ය. බාහිර තවුසන්ගේ භාෂිතයෝ ඍෂි භාෂිතයෝ ය. මජ්ඣිමනිකායේ පරිබ්බාජක වග්ගයෙහි හා සූත්‍ර නිපාතයේ පාරායන වග්ගයෙහි ද තවත් සමහර තැන්වල ද ඍෂිභාෂිත ඇත්තේ ය. දේවතා සංයුත්ත දේවපුත්තසංයුත්ත මාරසංයුත්ත බ්‍රහ්මසංයුත්ත සක්කසංයුත්තාදියෙහි දේවභාෂිතයෝ ඇත්තාහ. ශ්‍රාවක භාෂිත ධර්මවලින් සමහරක් බුදුරදුන් විසින් අනුමත කරන ලද බැවින් ද, සමහරක් බුදුරදුන්ගේ ධර්මයට අනුකූල බැවින් ද පිටකත්‍රයට ඇතුළු කර ගත්තේ ය. දේවතාදීන් විසින් විචාළ ප්‍රශ්නයන් විසඳීම් වශයෙන් තථාගතයන් වහන්සේ වදාළ සූත්‍රධර්මයන් සම්පූර්ණ වීමට ඒ ප්‍රශ්න ද ඇතුලත් විය යුතු බැවින් බොහෝ දේවභාෂිත ඍෂිභාෂිතයන් පිටකත්‍රයට ඇතුළත් කර තිබේ. ඇතැම් දේව භාෂිතයන් තථාගතයන් වහන්සේ විසින් නැවත වදාළ බැවින් පිටකත්‍රයට ඇතුළත් කර තිබේ. පිටකත්‍රය ධර්මයේ අර්ථවිවරණය කරන නොයෙක් භාෂාවලින් සම්පාදනය කර ඇති අටුවා ටීකා සන්න ගැටපද ග්‍රන්ථයෝ ද ඛුද්දසික්ඛා මූලසික්ඛා අභිධම්මත්ථසංගහ අභිධම්මාවතාර ආදි සංග්‍රහ ග්‍රන්ථයෝ ද, එක් එක් ධර්ම කොට්ඨාසයක් විස්තර කරන ග්‍රන්ථයෝ ද පිටකත්‍රයේ පරිවාර ග්‍රන්ථයෝ ය. ඒවා ද පර්‍ය්‍යාප්ති ධර්මය ලෙස සැලකිය යුතුය.

සතර අපායෙන් මිදීම සඳහා ද, දෙව්මිනිස් සැප හා නිවන් සැප ලැබීම සඳහා ද, පිරිය යුතු ශාසනික ප්‍රතිපත්තිය ප්‍රතිපත්ති ධර්මය ය. ගිහියන් විසින් ඔවුනට සුදුසු පරිදි ද පැවිද්දන් විසින් පැවිද්දන්ට සුදුස් පරිදි ද පිළිවෙත් පිරිය යුතුය. දන්දීම, මාපියනට ගිලනුන්ට මහල්ලන්ට සිල්වතුන්ට උවටැන් කිරීම, ජනෝපකාරී ක්‍රියා කිරීම, වත් පිළිවෙත් කීරිම, පඤ්චශීලය, අෂ්ටාංගශීලය, දසශීලය, සාමණේර ශීලය, උපසම්පදා ශීලය, තෙළෙස් ධුතාංග, ඉන්ද්‍රිය සංවරය, ආජීවපාරිශුද්ධි ශීලය, ප්‍රත්‍යසන්නිඃශ්‍රිත ශීලය, නීවරණ ප්‍රහාණය, ජාගරියානුයෝගය, ශමථ විදර්ශනා භාවනා, රූපාවචරාරූපාවචරසමාපත්ති යනාදීහු ශාසනික ප්‍රතිපත්තීහු ය. ආර්‍ය්‍යමාර්ග සතර ආර්‍ය්‍යඵල සතර නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්ම ප්‍රතිවේධ ධර්මය ය.

ධම්ම යන වචනයේ තේරුම

“අත්තානං ධාරෙන්තෙ චතුසු අපායෙසු වට්ටදුක්ඛෙසු ච අපතමානෙ කත්වා ධාරෙතීති ධම්මො” යනුවෙන් දැක්වෙන පරිදි දරන්නා වූ අර්ථයන් ධර්ම නම් වේ. දැරීම නම් සතර අපායට වැටෙන්නට නො දී සංසාරදුඃඛයට වැටෙන්නට නො දී රැකීමය. පර්‍ය්‍යාප්ති ධර්මය අසා බලා සිතින් දරන්නා වූ ධර්මයට අනුව පිළිවෙත් පුරන්නෝ ද ලෝකෝත්තර ධර්මයන් ප්‍රතිවේධ කළෝ ද ධර්මය දරන්නෝ ය. ධර්මය තමන් දරන්නවුන් සතර අපායටත් සංසාරදුඃඛයටත් වැටෙන්නට නොදී ආරක්ෂා කෙරේ. සත්ත්වයන් දැරීම විශේෂයෙන් කැරෙනුයේ ආර්‍ය්‍යමාර්ග නිර්වාණ යන ලෝකෝත්තර ධර්ම පසෙනි. ලෝකෝත්තර මාර්ගවලින් ඒවා ඇති කරගත් පුද්ගලයන් දුක්වලින් මිදවීම ඉහත දක්වන ලදී. ලෝකෝත්තර මාර්ගවලින් කෙළෙස් දුරු කර සත්ත්වයන් දුකින් මුදවන්නේ නිර්වාණ ධර්මයේ ද සහායත්වය ඇතිව ය. එබැවින් සතරමාර්ග නිර්වාණ යන ධර්ම පස කෙළින් ම සත්ත්වයන් දුකින් මුදවන ධර්මය යි කියනු ලැබේ. පර්‍ය්‍යාප්ති ධර්මයෙන් කෙරෙන්නේ සත්ත්වයා හට දුකින් මිදීමේ මාර්ගය දැක්වීම ය. ප්‍රතිපත්තිධර්මයෙන් සත්ත්වයා අපායෙන් මිදවීමත් සුගතියට පැමිණ වීමත් මාර්ගඵලනිර්වාණයන් ලබාදීමත් කරනු ලැබේ.

ධර්මයේ ගුණ

ස්වාක්ඛාතො භගවතා ධම්මො, සන්දිට්ඨිකො, අකාලිකො, එහිපස්සිකො, ඔපනයිකො, පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. මේ බොහෝ සූත්‍ර දේශනාවල දක්නට ලැබෙන ධර්මගුණ පාඨය ය. එයින් ධර්මයයේ ගුණ සයක් දැක්වේ. එහි තේරුම මෙසේ ය.

1. ස්වාක්ඛාතො භගවතා ධම්මො,

භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මුල මැද අග යන තුන් තැන ම යහපත් වන පරිදි මනාකොට දේශනය කරන ලද්දේ ය.

2. සන්දිට්ඨිකො,

ඒ ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයනට වර්තමාන භවයේදීම ප්‍රත්‍යක්ෂ වන ගුණවලින් යුක්ත වන්නේ ය.

3. අකාලිකො,

ඒ ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ හෙවත් ඒ ධර්මය ක්‍රියාවෙහි යොදවන්නා වූ සත්පුරුෂයනට වර්ෂගණන් මාසගණන් ගත වීමෙන් නොව එදිනෙදා ම ලැබිය හැකි ගුණවලින් යුක්ත වන්නේ ය.

4. එහිපස්සිකො,

ධර්මය තෙමේ ඇවිත් මේ සසුනෙහි පිළිවෙත් පුරා බලන්නය යි අන්‍යයන්ට නිර්භීතව කිය හැකි අන්‍යයන් ඇද දැමීමට සුදුසු ගුණ ඇත්තේ ය.

5. ඕපනයිකො,

මේ ධර්මය තෙමේ, අන් හැම වැඩක් ම පසුව කරන්නට තබා සැම වැඩකට ම කලින් තමාගේ සිතෙහි පිහිටුවීමට සුදුසු වන්නේ ය.

6. පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි,

ධර්මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයනට අන්තැනකින් නොව තමාගේම සිත් තුළින් ම අහෝ සැපය, අහෝ යහපත්ය කියා දැනෙන ගුණයෙන් යුක්ත වන්නේය.

10. ස්වාක්ඛාත ගුණය

ධර්මගුණයන් අතුරෙන් ස්වාක්ඛාත ගුණය බෙහෙවින් කිය යුත්තේ පර්‍ය්‍යාප්තිධර්මය සම්බන්ධයෙනි. ලෝකයෙහි අනේක ශාස්තෲන් විසින් ප්‍රකාශිත එකිනෙකට වෙනස් බොහෝ ධර්ම ඇත්තේ ය. යම් ශාස්තෲවරයකුගේ ධර්මයෙහි ඇතය යි කී දෙය ඒකාන්තයෙන්ම ඇති නම්, යමකින් සිදුවෙතැ යි දැක්වු ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ හෝ ඵලයක් ඒකාන්තයෙන් ඇති වේ නම්, පුරවන්නට අඩු තැන් නැති නම්, වැරදුණු තැන් නැතිනම්, මුල මැද අග යන තුන් තැන ම යහපත් වේ නම් ඒ ධර්මය ඒකාන්ත සත්‍යය ධර්මයෙකි. එබඳු ධර්මයක් වේ නම් ධර්මය ඒකාන්තයෙන් යහපත් වූ ධර්මයෙකි. ඒ සර්වකාර සුන්දරත්වය ධර්මයේ ස්වාක්ඛාත ගුණය ය.

ඇතැම් ශාස්තෲන් විසින් ධර්මය දේශනය කර තිබෙන්නේ ඒ දේශනය කරන කාරණය ගැන හරි දැනීමකින් දැකීමකින් නොව පරිකල්පනයෙනි. අනුමානයෙනි, ලෝකය ගැන කල්පනා කරන්නා වූ ඇතැම්හු, පුටුවක් ඇත්තේ මේසයක් ඇත්තේ ගෙයක් ඇත්තේ රියක් ඇත්තේ ඒවා තනන්නන් ද ඇති නිසාය. තනන්නවුන් නැතිව ඒවා කවරාකාරයකින්වත් ඉබේ ඇතිවන්නේ නැත. එමෙන් සමබිම්-කඳු-හෙල් සහිත වූ, ගං-හෝ-විල්-මුහුදු සහිත වූ, ඉර-සඳ-තාරකා සහිත වූ, රන්-රිදී-මුතු-මැණික් ආදි නොයෙක් වස්තු සහිත වූ, අනේකප්‍රකාර වෘක්ෂ ලතා සහිත වූ, අනේක සත්ත්වයන් සහිත වූ, ඉතා විචිත්‍ර වූ මේ ලෝකය තනන්නකු නැතිව ඉබේ ඇති විය නො හැකි ය. මෙය තැනූ කෙනෙකු ද විය යුතුයැයි සිතති. මේ විශාල ලෝකය සුළු බලයකින් සුළු දැනුමකින් නො තැනිය හැකිය. ලෝකය තැනිය හැකි වීමට ඕනෑ ම දෙයක් සිතීම් මාත්‍රයෙන්ම නිර්මාණය කළ හැකි පුදුම බලයක් ඇති සියල්ල ගැන ම දැනුම ඇති සර්වබලධාරිසර්වඥයකු සිටිය යුතුය යි සිතති. එබඳු පුද්ගලයකු පොළොවෙහි දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන්ලොවක ඇතය යි සිතති. එතරම් බලයක් ඇති පුද්ගලයා මිනිසුන් සේ දිරන්නකු මැරෙන්නකු නොවී හැම කල්හි ජීවත් වන්නකු කොට සිතති. මිනිස්ලොව නොයෙක් දුක් කරදර දක්නා වූ ඔවුහු සර්වබලධාරි දෙවියන් වෙසෙන තැන නිදුක් තැනකැයි කල්පනා කරති. දෙවියන් කෙරෙහි භක්තිමත් ව විසීමෙන් හා පුදපූජා කිරීමෙන් දෙවියන් සතුටු කිරීම එහි යාමේ උපායය යි කල්පනා කරති. මෙසේ කල්පනා කොට අනුමානයෙන් පවසන මුල මැද අග යන තුන් තැනින් එක් තැනකුදු යහපත් නො වන අසත්‍ය ධර්මයෝ දුරාඛ්‍යාත ධර්මයෝ ය.

“දුරක්ඛාතෙ භික්ඛවෙ, ධම්මවිනයෙ යො ච සමාදපෙති යං ච සමාදපෙති යො ච සමාදපිතො තථත්තාය පටිපජ්ජති, සබ්බෙ තෙ බහුං අපුඤ්ඤං පසවන්ති.”

(අංගුත්තර - ඒකක)

“මහණෙනි, දුරාඛ්‍යාත ධර්මවිනයෙහි යමෙක් ඒ ධර්මය සෙස්සන්ට පිළිගන්වයි ද යමකුට පිළිගන්වයි ද යමෙක් පිළිගෙන පිළිපදී ද ඒ සියල්ලෝම බොහෝ අකුසල් රැස් කෙරෙතිය” යනු එහි තේරුම ය.

තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය මෙසේ විය හැකිය යි හේතු යුක්ති පරිකල්පනයෙන් අනුමානයෙන් දේශනය කරන ලද්දක් නොව සර්වඥතාඥානයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන, ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක දේශනය කරන ලද්දකි. අතීත කල්ප පරම්පරාවෙහි අනන්තලෝකධාතු ගත සත්ත්වයනට ඉෂ්ට විපාක ගෙන දුන් කර්මයන් මේවාය යි සර්වඥතාඥානයෙන් හරියට ම දැන තථාගතයන් වහන්සේ කුශලයන් පනවා වදාළහ. එසේ ම අතීත කල්ප පරම්පරාවෙහි සත්ත්වයන්ට අනිෂ්ට විපාකයන් අති කළ කර්මයන් සර්වඥතාඥානයෙන් හරියට ම දැන වදාරා මේ මේ ධර්මයෝ අකුශලයෝ ය යි අකුශලයන් පනවා වදාළහ. ඒ ඒ පුද්ගලයන්ට අන්තරාය වූ ධර්මයන් හරියට ම දැක මේ ධර්මයෝ අන්තරායිකයෝය යි අන්තරායික ධර්ම පනවා වදාළහ. පින් කළ සත්ත්වයන්ගේ වාසභූමි වන දිව්‍යබ්‍රහ්ම ලෝකයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දැක ඒවා ප්‍රකාශ කළහ. එසේම පව් කළ සත්ත්වයන්ගේ වාසභූමි වන සතර අපාය ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දැක ප්‍රකාශ කළහ. කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රයෙහි ස්ථීර කිසිවක් නැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක ම අනිත්‍ය ධර්මය ප්‍රකාශ කළහ. එසේ ම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක ම ලෝකයේ දුඃඛස්වභාව හා අනාත්මස්වභාව වදාළහ. සසර දුක ඉන් මිදෙනු පිණිස අතීත බුදු පසේබුදු මහරහතන් වහන්සේ විසින් පිවිස වදාළ නිත්‍යසුඛය වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුව උන් වහන්ස්ලා දුටු පරිදිම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක වදාරා නිර්වාණ ධර්මය ප්‍රකාශ කළහ. නිර්වාණ මාර්ගය වූ සතර සතිපට්ඨාන - සතර සම්‍යක්ප්‍රධාන - සතර ඍද්ධිපාද - පඤ්චේන්ද්‍රිය - පඤ්චබල - සප්තබෝධ්‍යංග - ආර්යඅෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ම වදාළහ. පඤ්චස්කන්ධය - ද්වාදසායතනය - අටළොස්ධාතු - දෙවිසි ඉන්ද්‍රිය - ප්‍රතීත්‍ය සමුත්පාදය - චතුරාර්යසත්‍යය යනාදි ධර්මයන් අනුමානයෙන් තොරව ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දැන වදාළහ. ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දැන වදාළ බැවින් තථාගතයන් වහන්සේගේ ධර්මය සර්වාකාරයෙන්ම සත්‍ය ධර්මයෙකි. දිනක් ගෝතමක චේතිය නම් ස්ථානයේදී තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් දේශනය කරන ධර්මය මෙසේ සහතික කොට වදාළ සේක.

“අභිඤ්ඤායාහං භික්ඛවෙ, ධම්මං දෙසෙමි නො අනභිඤ්ඤාය, සනිදානාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි නො අනිදානං, සප්පටිහාරියාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි නො අප්පටිහාරියං, තස්ස මය්හං භික්ඛවෙ අභිඤ්ඤාය, ධම්මං දෙසයතො නො අනභිඤ්ඤාය, සනිදානං ධම්මං දෙසයතො නො අනිදානං, සප්පටිහාරියං ධම්මං දෙසයතො නො අප්පටිහාරිං, කරණීයො ඔවාදො, කරණීයා අනුසාසනී, අලං ච පන වො තුට්ඨීයා අලං අත්තමනතාය අලං සොමනස්සාය සම්මාසම්බුද්ධො වත භගවා ස්වාක්ඛාතො ධම්මො සුපටිපන්නො සංඝොති”

(අඞ්ගුත්තර තිකනිපාත)

“මහණෙනි, මම ස්කන්ධායතනධාත්වාදී ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ම දේශනය කරමි. නො දැන දේශනය නො කරමි. හේතු සහිත ව දේශනය කරමි. හේතු රහිතව නො දෙසමි. විරුද්ධවාදීන් බැහැර කිරීම් වශයෙන් ප්‍රාතිහාර්ය සහිතව ම ධර්මය දේශනය කරමි. ප්‍රාතිහාර්‍ය්‍ය රහිතව නො දෙසමි. මහණෙනි, එසේ ධර්මය දේශනා කරන්නා වූ මාගේ අවවාදය අනුශාසනය කළ යුතු ය. මහණෙනි, තොපට භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක්සම්බුද්ධයහ. ධර්මය ස්වාක්ඛ්‍යාතය, සංඝයා සුප්‍රතිපන්නය යි සතුටු වීමට සුදුසු ය” යනු එහි තේරුමය. මේ දේශනය කළ කල්හි දහසක් ලෝකධාතු කම්පිත විය.

පරම සත්‍යය වූ තථාගත ධර්මය කිසිවකුට බොරු කළ නො හැකි ය. වාද කොට ධර්මය බොරු කිරීමේ අදහසින් බොහෝ ක්ෂත්‍රිය පණ්ඩිතයෝ ද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝ ද, ගෘහපති පණ්ඩිතයෝ ද, ශ්‍රමණ පණ්ඩිතයෝ ද, බුදුරදුන් වෙත පැමිණියෝ ය. ඔවුන්ගෙන් ඇතැමෙක් පරාජයට පත්ව පළා ගියහ. ඇතැමෙක් තථාගතයන් වහන්සේගේ ම ශ්‍රාවකයෝ වූහ. තථාගතයන් වහන්සේගේ ධර්මය පරම සත්‍යයක් වන බැවින් ද, මුල මැද අග යන තුන් තැනින් කොතනකවත් පිරවිය යුතු අඩුවක් නැති බැවින් ද, සකස් කළ යුතු තැනක් නැති බැවින් ද, නිෂ්ඵලය වැඩිය කියා බැහැර කළ යුත්තක් නැති බැවින් ද, ඒ ධර්මයෙන් අපාය දුඃඛයෙන් සංසාර දුඃඛයෙන් මිදී සඟමොක් සැප ලැබීමේ නො වරදින ප්‍රතිපදාවක් දක්වන බැවින් ද, ඒ ධර්මය අනුව පිළිපදින්නවුන්ට ඒ පිළිපැදීමෙන් ලෞකික ලෝකෝත්තර සකල සම්පත්තීන් ම ලැබිය හැකි වන බැවින් ද ඒ ධර්මය ස්වාඛ්‍යාත ධර්මයක් වන්නේ ය. මෙතෙකින් දක්වන ලද්දේ පර්‍ය්‍යාප්ති ධර්මයාගේ ස්වාඛ්‍යාත ගුණය ය. පර්‍ය්‍යාප්තිධර්මය ස්වාඛ්‍යාත වන කල්හි ඒ ධර්මයෙන් දක්වන උසස් දෙය වූ නවලෝකෝත්තර ධර්මය ද ස්වාඛ්‍යාත වන්නේ ය. ධර්මයාගේ ස්වාඛ්‍යාත ගුණය විශුද්ධිමාර්ගාදියෙහි නොයෙක් ක්‍රමවලින් දක්වා ඇත්තේ ය.

ධර්මගුණ ගාථා

1. ධම්මො පනෙසො සුගතප්පසත්ථො
තරණීව සංසාර මහණ්ණවස්ස,
බ්‍රහ්මාසුරාදීහි නමස්සනීය්‍යො
රසො රසානං පරමො තිලොකෙ.

.

2. මහාගදො මච්චුජරා පහානො
සබ්බීතිනාසාය විසෙසමන්තො,
සබ්බත්ථ දානෙන ච කප්පරුක්ඛො
චින්තාමණී භද්දඝටොව ධම්මො,

.

3. ධම්මං විනා නත්ථි පිතා ච මාතා
තමෙව තාණං සරණං පතිට්ඨා
තස්මා හි භො කිච්චමඤ්ඤප්පහාය
සුණාථ ධාරෙථ චරාථ ධම්මෙ.

(රසවාහිනී)

තේරුම:-

(1) සුගතයන් වහන්සේ විසින් පසස්නා ලද මේ ධර්මය සංසාරමහාර්ණවයට පසුරක් වැනිය. . බ්‍රහ්මාසුරාදීන් විසින් නමස්කාර කළ යුතු වූ මේ ධර්මය තුන්ලොව ම ඇති රසයන් අතුරෙන් උත්තම රසය ය.

(2) මේ ධර්මය ජරාමරණයන් නැති කරන මහෞෂධයෙක. සියලු උවදුරු දුරු කරන විශේෂ මන්ත්‍රයෙක, මේ ධර්මය සකලාර්ථයන් ප්‍රදානය කරන බැවින් කප්රුකක් සිතුමිණක් භද්‍රඝටයන් වැනිය.

(3) ධර්මය හැර සත්වයනට මවක් පියෙක් නැත. ඒ ධර්මය ම සත්ත්වයනට ආරක්ෂාවය, සරණයය, ප්‍රතිෂ්ඨාවය. පින්වත්නි, එබැවින් අන් සියළු වැඩ නවත්වා ඒ දහම අසව් දරව්, ධර්මයෙහි හැසිරෙව්.

තථගත ධර්මයට අනුව පිළිපැද දෙව්මිනිස් සැප හා නිවන් සැප ලැබුවෝ ඉතා බොහෝ ය. පිළිපැදීමක් නැතිව පහත් සිතින් ඒ ධර්මය ඇසීම මාත්‍රයෙන්ම ද දෙවිමිනිස් සැප ලැබු තිරිසන් සතුන් පිළිබඳ කථා ද බෞද්ධ සාහිත්‍යයෙහි දක්නා ලැබේ. ඉන් කිහිපයක් මෙසේය.

මණ්ඩුක දේවපුත්‍ර

භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගග්ගරා නම් පොකුණ සමීපයේ දහම් දෙසූ අවස්ථාවක ඒ පොකුණෙහි විසු මැඩියෙක් ගොඩ වී දහම් අසන පිරිස කෙළවර බුදුන්ගේ මිහිරි දහම් හඬට කන් දීගෙන සිටියේ ය. කෙවිටක් ද අතේ ඇතිව ගොපල්ලෙක් එහි පැමිණ සන්සුන්ව දහමට කන් දී සිටින මහ පිරිස දැක තෙමේ ද පිරිස් කෙළවරට ගොස් කෙවිට බිම හැණ එහි නැවතිණ. ඔහුගේ කෙවිට කොන පිහිටියේ බණට කන් දීගෙන සිටි මැඩියාගේ හිස මතය. ඌ එකෙණෙහිම මැරී බණට කන් දීගෙන සිටීමේ පිනෙන් තවුතිසා දෙව්ලොව දොළොස් යොදුන් රන් විමනක උපන්නේය. තමාට මේ මහත් වූ සම්පත්තිය කෙසේ ලැබුණේ දැයි විමසන්නේ බණ ඇසීමේ පිනෙන් ම ලද බව දැන ඉමහත් සතුටට පැමිණ කාරණය බුදුරදුන්ට දන්වනු පිණිස එකෙණෙහි ම විමානයත් සමඟ ම මිනිස් ලොවට අවුත් මහජනයා බලාසිටියදී ම සිය පිරිවරත් සමඟ විමානයෙන් බැස භාග්‍යවතුන් වහන්සේගේ පා වැඳ තමා හඳුන්වා දුන්නේ ය. බුදුරජාණන් වහන්සේ ඔහුට ධර්ම දේශනය කළ සේක. මණ්ඩුක දේවපුත්‍ර සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ඒ සමාගමයේ දී සුවාසූ දහසක් සත්ත්වයනට ධර්මාභිසමය විය.

(විමානවත්ථු)

බණ ඇසූ ගැරඬියා

ලක්දිව රුහුණු ජනපදයෙහි මාගම කාවන්තිස්ස රජු රජය කරවන කල්හි තලංගරතිස්ස පබ්බතවාසී මහාධම්මදින්න තෙරණුවෝ මහාරබ්භක නම් ලෙණෙහි වාසය කළහ. ඒ ලෙණ සමීපයේ තුඹසක ගැරඬියෙක් වාසය කෙළේය. පසු කලෙක ඌ අන්ධව තුඹසින් පිටතට වී ගොදුරු සොයා යා නොහැකිව නිරාහාරව දරණ ලා ගෙන සිටියේ ය. මහාධම්මදින්න තෙරණුවෝ එසේ හොත් අසරණ සතා දැක අනුකම්පාවෙන් ඌට ඇසෙන සේ මහා සතිපට්ඨාන සූත්‍ර ධර්මය සජ්ඣායනා කළහ. අසරණ සතා ඒ හඬ සිත පහදා ගෙන ඇසුවේය. එකෙණෙහි කබරගොයෙක් එහි පැමිණ ගැරඬියා මරා කෑවේය. බණට සිත පහදා ගෙන සිටීමේ පිනෙන් ගැරඬියා අනුරාධපුරයේ දුටුගැමුණු රජුගේ ඇමතියකුගේ ගෙයි ඉපද තිස්ස නම් ඇමතියෙක්ව බොහෝ සම්පත් ඇතිව සිට බොහෝ පින් කොට ආයු කෙළවර තව්තිසා දෙව්ලොව උපන්නේ ය.

(රසවාහිනී)

සාධුකාර දීම

සැවැත් නුවර විසූ එක් රූපත් කාන්තාවකගේ සැමියා තථාගතයන් වහන්සේගෙන් බණ අසා ගිහිව සිට මේ ධර්මය අනුව නො පිළිපැදිය හැකිය යි සිතා විහාරයට ගොස් එක්තරා පිණ්ඩපාතික තෙරනමක් සමීපයෙහි පැවිදි විය. පසේනදී කොසොල් රජතුමා අස්වාමික වූ ඒ කාන්තාව ස්වකීය අන්තඃපුරයට ගෙන්වා ගත්තේ ය. දිනක් රජතුමා නිලුපුල් මල් මිටියක් ගෙන අන්තඃපුරයට පිවිස එක් ස්ත්‍රියකට එක මල බැගින් දුන්නේ ය. ඒ කාන්තාවට මල් දෙකක් ම ලැබුණේ ය. ඕ ඉමහත් ප්‍රීතියකින් එ මල් ගෙන සිප මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ සැමියා සිහි වී හැඬුවා ය. රජතුමා ඇගේ ක්‍රියාව දැක ඇය ගෙන්වා කරුණු විචාළේය. මේ තොමෝ මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ පුරාණ සැමියා සිහි වී හැඬූ බව රජුට දැන්වූවා ය. රජුට එය නො පිළිගත හැකි විය. දෙතුන් වරක් ඇසූ කී නමුත් රජු එය විශ්වාස නො කළේ ය. රජතුමා ඇගේ කීම විමසනු පිණිස පසු දින සියලු ම සුවඳ වර්ග රජගෙයින් ඉවත් කරවා අසුන් පනවා බුදුපාමොක් මහසඟන වැඩම කරවා දන් දී ස්ත්‍රියගෙන් ඒ භික්ෂුව අසා දැනගෙන බුදුරදුන් වෙත එළඹ “ස්වාමීනි, අපට අනුමෙවෙනි බණ කීමට අසවල් භික්ෂූන් වහන්සේ නවත්වා නුඹ වහන්සේ සෙසු භික්ෂූන් වහන්සේ සමඟ විහාරයට වැඩම කරන සේක්වා”යි සැල කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් සමග විහාරයට වැඩම කළ සේක. තෙරණුවන් දහම් දෙසුම අරඹනු සමගම රජගෙය සුවඳ දැයින් පිරීගියාක් මෙන් විය. රජතුමා කාන්තාවගේ කීම සැබෑය යි පැහැදී පසු දින භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ තෙරණුවන්ගේ මුවින් සුවඳ විහිදීමේ හේතුව විචාළේය. “මහරජ, ඒ භික්ෂුව අතීතයෙහි දහම් අසමින් ප්‍රීතියෙන් සාදුකාර දුන්නේ ය. ඒ පිනෙන් ඒ භික්ෂුවගේ මුවින් සුවඳ විහිදෙන්නේ ය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

සද්ධම්ම දෙසනාකාලෙ - සාධුසාධුති භාසතො,
මුඛතො වායතෙ ගන්ධො - උප්පලං ව යථොදකෙ.”

(මනෝරථපූරණී)

තථාගත ධර්මය ඇසීම් මාත්‍රයෙන් හා සාදුකාරදීම් මාත්‍රයෙන්ද එසේ කරනුවන්ට නොයෙක් අනුසස් ලැබෙන්නේ ඒ ධර්මයේ යහපත් බව හෙවත් ස්වාඛ්‍යාත භවය නිසාය.

11. සන්දිට්ඨීක ගුණය

සන්දිට්ඨිකො අකාලිකො, එහිපස්සිකො, ඔපනයිකො, පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි යන පදවලින් කියැවෙන ගුණ පස විශේෂයෙන් ඇත්තේ ලෝකෝත්තර ධර්මයන්හිය.

සන්දිට්ඨිකො යන වචනයේ තේරුම, අනුන් කියනු අසා එබඳු දෙයක් ඇතය යි අනුමානයෙන් සිතා ගන්නා දෙයක් නොව, මේ නවලෝකෝත්තර ධර්මය තම තමන් විසින් ම දැක තමන් විසින් ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ධර්මයක්ය යනුයි.

වෛද්‍යකු විසින් වර්ණනා කරන බෙහෙතක් සෙස්සන් විසින් නො ලැබිය හැකි - ලබා වැළඳුව ද කියන ගුණ නො දැකිය හැකි දෙයක් වේ නම්, එය පිළිගත හැකි උසස් කොට සැලකිය හැකි බෙහෙතක් නොවේ. යමකු යම් ධර්මයක් තමා තුළ ඇති කර ගෙන එයින් උසස් ඵල ලබා සිටිමි යි කිව ද එය සෙස්සන්ට තම තමන් තුළ ඇති කර ගත නො හෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය නො හෙන ධර්මයක් වේ නම් එය උසස් කොට සැලකිය හැකි පිළිගත හැකි ධර්මයක් නොවේ. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන සතරමාර්ග සතරඵල ධර්ම සෙස්සන්ටත් තම තමන් තුළ උපදවා ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. නිර්වාණ ධර්මය ද ලෝකෝත්තර ඥානයෙන් සෙස්සන්ට ද ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. කෙනෙකු දෙදෙනකු විසින් පමණක් දැන සිටිනවාය කියන දෙය අසත්‍යය ද විය හැකිය. සත්‍ය වුව ද නිසැකව පිළිගැනීමට දුෂ්කරය. බොහෝ දෙනෙකුන් දැන ඇති, දැක ඇති, ප්‍රත්‍යක්ෂ කර ඇති, ධර්මයක් වේ නම් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කර නොගත් අය විසින් ද එය පිළිගත හැකිය. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශනය කරන නවලෝකෝත්තර ධර්මය උන් වහන්සේ විසින් පමණක් නොව තවත් බොහෝ දෙනෙකු විසින් ද තම තමන් තුළ උපදවා ගෙන ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටින ධර්මයෙකි. එබැවින් ඒ ධර්මය පිළිගැනීමට සුදුසු පිළිගත හැකි ධර්මයකි. අර්හත්වය සෙස්සන් විසින් ලැබිය හැකි නො ලැබිය හැකි බව පිළිබඳ බුදුරදුන් හා වච්ඡ නම් තවුසා අතර ඇති වූ සාකච්ඡාවක් මෙසේය:-

“පින්වත් ගෞතමයෙනි, මා මේ කථා කරන්නේ ඔබ වහන්සේ ගැන නොවෙයි. ඔබ වහන්සේ විසින් පවසන කාමාදි ආශ්‍රවයන් ක්ෂය කොට පැමිණෙන අර්හත්වයට පැමිණ සිටින ඔබ වහන්සේගේ ශ්‍රාවක වූ එක් භික්ෂුවකුදු ඇත්තේ ද?

“වච්ඡ, සියයකුත් නොවෙයි, දෙසියයකුත් නො වෙයි, තුන්සියයකුත් නො වෙයි, සාරසියකුත් නො වෙයි, පන්සියයකුත් නො වෙයි, මාගේ ශ්‍රාවක වූ බොහෝ භික්ෂූහු ආශ්‍රවයන් ක්ෂය කොට අර්හත්වයට පැමිණ සිටින්නාහ.”

“පින්වත් ගෞතමයෙනි, ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවන් වන භික්ෂුණීන් අතර ආශ්‍රවයන් ක්ෂය කොට අර්හත්වයට පැමිණ ඇති එක් භික්ෂුණියකුදු ඇත්තී ද?”

“වච්ඡ, සියයකුදු නො වේ, දෙසියයකුදු නො වේ, තුන්සියයකුදු නො වේ, හාරසියයකුදු නො වේ, පන්සියයකුදු නො වේ, මාගේ ශ්‍රාවිකාවන් වූ බොහෝ භික්ෂුණීහු අර්හත්වයට පැමිණ ඇත්තාහ.

“පින්වත් ගෞතමයෙනි, ඔබ වහන්සේගේ උපාසකයන් අතර පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ප්‍රහාරණය කොට මරණින් මතු බඹලොව ඉපිද එහිම පිරිනිවෙන්නා වූ නැවත මේ ලෝකයට නො පැමිණෙන්නා වූ බ්‍රහ්මචාරි ගෘහස්ථ ශ්‍රාවකයෙක් ඇත්තේ ද?

“වච්ඡය, සියයක්, දෙසියයක්, තුන්සියයක්, සාරසියයක්, පන්සියයක් නො වේ. මාගේ එබඳු බොහෝ ගෘහස්ථ ශ්‍රාවකයෝ ඇතහ.”.

“පින්වත් ගෞතමයනි, ඔබ වහන්සේගේ අවවාදානුශාසනා පිළිපදින්නා වූ සියලු සැක දුරු කර ගෙන සිටින්නා වූ නුඹ වහන්සේගේ සසුනෙන් පිටතින් පිහිටක් නො සොයන නුඹ වහන්සේගේ ධර්මය ස්ථීර වශයෙන් ම පිළිගෙන සිටින ඔබ වහන්සේගේ ශ්‍රාවක කාමභෝගී එක් ගෘහස්ථ උපාසකයෙකුදු ඇත්තේ ද?”

“වච්ඡය, සියයක්, දෙසියයක්, තුන්සියයක්, සාරසියයක්, පන්සියයක් නො වේ. මාගේ ශ්‍රාවක වූ එබඳු ගෘහස්ථෝපාසකයෝ බොහෝ ඇත්තාහ.”

“පින්වත් ගෞතමයෙනි, පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය කොට මරණින් මතු බඹලොව උපදනා වූ එහි ම පිරිනිවෙන්නා වූ නැවත මේ ලෝකයට නො එන්නා වූ ගෘහස්ත වූ එක් උපාසිකාවකුදු ඇත්තේ ද?”

“වච්ඡය, සියයක්, දෙසියයක්, තුන්සියයක්, සාරසියයක්, පන්සියයක්, නො වේ. මාගේ එබඳු බොහෝ ගෘහස්ථ ශ්‍රාවිකාවෝ ඇතහ.”

“පින්වත් ගෞතමයනි, නුඹ වහන්සේගේ අනුශාසනය අවවාදය පිළිපදින්නා වූ සියලු සැක දුරු කරගෙන සිටින්නා වූ නුඹ වහන්සේගේ ධර්මය ස්ථීර වශයෙන් ම පිළිගෙන සිටින්නා වූ නුඹ වහන්සේගේ සසුනෙන් පිටතින් පිහිටක් නො සොයන්නා වූ ගෘහස්ථ වූ කාමභෝගිනී වූ නුඹ වහන්සේගේ එක් ශ්‍රාවිකාවකුදු ඇත්තී ද?”

“වච්ඡය, සියයක් දෙසියයක් තුන්සියයක් සාරසියයක් පන්සියයක් නො වේ. මාගේ එබඳු ගෘහස්ථ ශ්‍රාවිකාවෝ බොහෝඇත්තාහ.”

මේ කථාවෙන් තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ධර්මය කාහටත් ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක් බව දැන පැහැදුනා වූ වච්ඡ පිරිවැජි තෙමේ බුදු සසුනෙහි පැවිදිව තථාගතයන් වහන්සේගේ අවවාදානුශාසනයන් අනුව පිළිපැද සියලු කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ නවලෝකෝත්තර ධර්මය තමා විසින් ම දැක ගත්තේ ය. ප්‍රත්‍යක්ෂ කර ගත්තේ ය.

(මජ්ඣිම නිකාය මහාවච්ඡගොත්ත සූත්‍රය)

ලෝකෝත්තර ධර්මයෝ වනාහි ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ම ප්‍රයෝජන ලැබිය යුත්තෝ ය. එකකුගේ ප්‍රත්‍යක්ෂයෙන් අනිකකුට ප්‍රයෝජනයක් නො ලැබිය හැකිය. ගුරුවරයා ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ගෝලයාට හෝ පැවිද්දා ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ගිහියාට හෝ දේශකයා විසින් ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ශ්‍රාවකයාට හෝ ප්‍රයෝජනයක් නැත. ප්‍රත්‍යක්ෂ කර ගැනුමෙන් ම ප්‍රයෝජනය ලැබිය යුතු බැවින් ද නව ලෝකෝත්තර ධර්මය සන්දිට්ඨික නම් වේ. පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ධර්ම දෙක්හි ද එක්තරා ප්‍රමාණයක සාන්දෘෂ්ටික ගුණයක් ඇත්තේය.

පර්‍ය්‍යාප්ති ධර්මයේ සාන්දෘෂ්ටික ගුණය.

අසන දරන සිහි කරන සත්පුරුෂයනට රෝග ශෝක භයාදිය දුරුවීම ආයුරාරෝග්‍යාදි සම්පත් ලැබීම යනාදි පර්‍ය්‍යාප්ති ධර්මයේ සාන්දෘෂ්ටික ගුණය ය. ඒ ගුණය පිරිත් දහමෙහි විශේෂයෙන් ඇත්තේ ය. වෛශාලිපුරයෙහි පැවති රෝග භය, අමනුෂ්‍ය භය, දුර්භික්ෂ භය රතන සූත්‍රය දේශනය කිරීමෙන් දුරුවිය. අදත් ඒ සුතුරෙන් බොහෝ දෙනාට රෝගාදිය දුරු වේ. එය එහි සාන්දෘෂ්ටික ගුණයය. මෛත්‍රීසූත්‍රය සජ්ඣායනා කිරීමෙන් භික්ෂූන් පන්සිය නමකට පැමිණ තුබූ අමනුෂ්‍ය උපද්‍රවය නැති විය. ඔවුන්ට කලින් කරදර කළ අමනුෂ්‍යයන්ගෙන් උපකාර ද ලැබෙන්නට විය. එය ඒ සූත්‍ර ධර්මයේ සාන්දෘෂ්ටික ඵලයකි. දීඝවාපී චෛත්‍යයෙහි සුණුපිරියම් කරන කාලයේ යම් කිසි කටයුත්තකට සෑයට නැඟි භික්ෂුවක් චෛත්‍ය ගර්භයේ ලෙස්සා ආයේය. එය දුටු යට සිටි භික්ෂුහූ “ඇවැත්නි, ධජග්ගපරිත්තය සිහිකරව”යි කීහ. ලෙස්සා එන භික්ෂුව මරණ භයින් “ධජග්ගපිරිත මා රකීවා”යි කීය. එකෙණෙහි චෛත්‍ය ගර්භයෙන් ගඩොල් කැට දෙකක් නික්ම, වැටෙන භික්ෂුවට පිහිට විය.

(සංයුත්තට්ඨකථා)

දරුවන්ගේ හා මාපියන්ගේ මරණයෙන් හට ගත් ඉමහත් ශෝකයක් උමතුව සිටි පටාචාරාගේ ශෝකය දහම් ඇසීමෙන් සන්සිඳණ. ඉක්බිති “නසන්ති පුත්තා තාණාය” යනාදි ගාථා අසා ඕ සෝවාන් ඵලයට ද පැමිණියා ය.

සුබ්‍රහ්මා නමැති දේවපුත්‍රයාට පැමිණ තුබූ මරණභය -

“නාඤ්ඤත්‍ර බොජ්ඣංගා තපසා - නාඤ්ඤත්‍රින්ද්‍රියසංවරා
නාඤ්ඤත්‍ර සබ්බනිස්සග්ගා - සොත්ථීං පස්සාමි පාණිනං.”

යන ගය ඇසීමෙන් දුරු විය. ඔහු සෝවාන් ඵලයට ද පැමිණියේ ය. තමාගේ ආයුෂය ගෙවී ගොස් අති බව දැන බියපත් වූ සක්දෙව් රජුට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ දහම් ඇසීමෙන් නැවත ද ආයු ලබා ගත හැකි විය. මේවා පර්‍ය්‍යාප්ති ධර්මයේ සාන්දෘෂ්ටික ඵලයෝ ය.

ප්‍රතිපත්තිධර්මයේ සාන්දෘෂ්ටික ඵල

දාන ශීල භාවනා යන මේවා ප්‍රතිපත්තීහුය. සර්වඥයන් වහන්සේ වේසාලියෙහි මහවනයේ කූටාගාරශාලාවෙහි වැඩ විසූ විටෙක සීහ නම් සෙනෙවියා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සාන්දෘෂ්ටික දාන ඵලයක් දැක්විය හැකිදැ”යි විචාළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“දායකො සීහ, දානපති බහුනො ජනස්ස පියො හොති මනාපො, යම්පි සීහ, දායකො දානපති බහුනො ජනස්ස පියෝ හොති මනාපො, ඉදම්පි සන්දිට්ඨීකං දානඵලං,

පුන ච පරං සීහ, දායකං දානපතිං සන්තො සප්පුරිසා භජන්ති, යම්පි සීහ, දායකං දානපතිං සන්තො සප්පුරිසා භජන්ති, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං.

පුන ච පරං සීහ, දායකස්ස දානපතිනො කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, යම්පි සීහ දායකස්ස දානපතිනො කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, ඉදම්පි සන්දිට්ඨීකං දානඵලං.

පුන ච පරං සීහ, දායකො දානපති යඤ්ඤඤෙව පරිසං උපසංකමති, යදි ඛත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං උපසංකමති, යදි ඛත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමණ පරිසං විසාරදොව උපසංකමති අමංකුභූතො, යම්පි සීහ, දායකො දානපති යඤ්ඤදෙව පරිසං උපසංකමති යදි ඛන්තියපරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං විසාරදොව උපසංකමති අමංකුභූතො, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං”

(අංගුත්තර නි. ප.)

තේරුම:-

සීහය, දානපති වූ තෙමේ බොහෝ ජනයාට ප්‍රිය වේ, මනාප වේ. සීහය, දානපති වූ දායකයාගේ යම් බොහෝ ජනයාට ප්‍රියමනාප වීමෙක් වේ ද මේ සාන්දෘෂ්ටික දානඵලයෙකි.

සීහය, දානපති වූ දායකයා සත්පුරුෂයෝ භජනය කෙරෙති. සීහය, දායකයා සත්පුරුෂයන් විසින් භජනය කරනු ලැබීම සාන්දෘෂ්ටික දානඵලයෙකි.

සීහය, දානපති වූ දායකයාහට යහපත් කීර්ති ශබ්දයන් පැන නැගෙයි. සීහය, දායකයාහට යහපත් කීර්ති ශබ්දයක් පැන නැගීම සාන්දෘෂ්ටික දානඵලයෙකි.

සීහය, දායක තෙමේ ක්ෂත්‍රීය වූ හෝ බ්‍රාහ්මණ වූ හෝ ගෘහපති වූ හෝ ශ්‍රමණ වූ හෝ යම් පිරිසකට එළඹේ නම් ඔහු නිර්භීතව තේජාන්විතව සොම්නසින් යුතුව එළඹෙන්නේ ය, සීහය, එද දානයේ සාන්දෘෂ්ටික ඵලයෙකි.

දානයේ සාන්දෘෂ්ටික ඵල දැක්වෙන බොහෝ කථා බෞද්ධ සාහිත්‍යයෙහි ඇත්තේ ය. ඒවායින් කිහිපයක් අරහං ගුණ කථාවෙහි දී දක්වා ඇත. එබඳු කථා ප්‍රතිපත්තිධර්මයේ සාන්දෘෂ්ටික ගුණ වශයෙන් ද දැක්විය යුතුය.

බොහෝ ජනයාට ප්‍රියවීම ආදී දානයාගේ සාන්දෘෂ්ටිකඵල වශයෙන් වදාරා ඇති කරුණු සතර ශීලයේ සාන්දෘෂ්ටිකඵල වශයෙන් ද කිය යුතු ය. ප්‍රාණඝාතාදි පව්කම් කරන්නවුන්ට සමහර විට වර්තමානභවයේදී ම නොයෙක් දඬුවම් ලැබෙන්නේ ය. පව්කම් වලින් වැළකී සිටින්නවුන්ට ඒ විපත් නැත. එය ද ප්‍රතිපත්තිධර්මයේ සාන්දෘෂ්ටික ඵලයකි. බොහෝ දෙනාගෙන් ගරුබුහුමන් පූජාසත්කාර ලැබීම ද ශීලයේ සාන්දෘෂ්ටික ඵලයෙකි.

සක්දෙවිඳුගේ නමස්කාරය

දිනක් සක්දෙව්රජ උයන්සිරි දක්නට යාමට සැරසී විජයොත්පහයෙන් බැස රථයට නැගීමට කලින් සතර දිගට නමස්කාර කෙළේ ය. එය දුටු මාතලී දෙව්පුත් “ද්‍රේවේන්ද්‍රයෙනි, ඔබට, ත්‍රිවිද්‍යා ඇත්තෝ ද සකල භූමස්ථයෝ ද ක්ෂත්‍රියයෝ ද සිවුවරම් රජහු ද යශස් ඇති දෙවියෝ ද නමස්කාර කරති, එසේ වූ ඔබ නමස්කාර කරන්නේ කවුරුන්ට දැ”යි ඇසී ය. එකල්හි සක්දෙව් රජ:-

“අහඤ්ච සිලසම්පන්නෙ - චිරරත්තසමාහිතෙ,
සම්මා පබ්බජිතෙ වන්දෙ - බ්‍රහ්මචරිය පරායනෙ.
යෙ ගහට්ඨා පුඤ්ඤකරා - සීලවන්තො උපාසකා
ධම්මෙන දාරං පොසෙන්ති - තෙ නමස්සාමි මාතලී.”

“මාතලී, මම ද සිල්වත් වූ බොහෝ කලක් සන්සුන් කළ සිත් ඇත්තා වූ උතුම් පැවතුම් ඇත්තා වූ යහපත් පැවිද්දන් නමදිමි. පින් කරන්නාවූ සිල්වත් වූ යම් ගෘහස්ථ උපාසක කෙනෙක් දැහැමින් අඹුවන් පෝෂණය කෙරෙත් ද ඔවුන්ට නමස්කාර කරමි”යි කීය.

(සක්ක සංයුක්ත)

ශීලගුණය ඇතියවුන්ට සක්දෙවිඳු පවා නමස්කාර කරන බව මේ කථාවෙන් පෙනේ.

පිඹුරාට හසු වූ ගොවියා

පෙර ලක්දිව එක් ගොවියෙක් අම්බරියවිහාරවාසී පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ වෙතින් පන්සිල් සමාදන්ව ගොවිකමින් ජීවත් වෙයි. දිනක් කුඹුරේ වැඩට ගෙන ගිය ගොණුන් නැතිවී උන් සොයනු පිණිස ගොවියා උත්තරවර්ධමාන පර්වතයට නැංගේ ය. එහි දි ඔහු පිඹුරෙකු විසින් වෙළාගනු ලැබී ය. ගොවියා අත හොඳින් කැපෙන වෑයක් ද විය. ඔහුට පිඹුරාගේ හිස සිඳ දමා ගැළවී යන්නට සිතිණ. නැවත ඔහුට, ගරු කළ යුතු උතුමකුගෙන් සමාදන් වූ සිකපද බිඳීම නුසුදුසුය යි සීතී, අදහස් වෙනස් කර ගත්තේ ය. පිඹුරා වෙළුම තවත් තද කළේය. ගොවියාගේ වේදනාව තවත් බලවත් විය. ඔහුට නැවත ද අත ඇති අවියෙන් හිස සිඳ පිඹුරා මරා දමන්නට සිත් විය. ඉක්බිති සිකපද බිඳීමේ නුසුදුසු බව සිතා අදහස් වෙනස් කර ගත්තේ ය. පිඹුරා තවත් වෙළුම තද කෙළේ ය. වේදනාව බලවත් වීමෙන් ගොවියාට තුන්වන වරද පිඹුරා මරා දමන්නට සිතිණ. ඔහුට නැවතත් තමාගේ ශීලය සිහිවිය. තුන්වන වාරයේ දී උපාසක තැන මේ නපුරු අදහස මට නැවත නැවත පහළ වන්නේ මේ වෑය නිසාය. දිවි නැසෙතත් මම ශීලය නො බිඳමි යි සිතා ඔහු අත තුබූ වෑය දුරට විසි කෙළේ ය. එකෙණෙහි පිඹුරා ද උපාසකයා හැර ගියේ ය. මේ ශීලයේ සාන්දෘෂ්ටික ඵලයෙකි. අජාසත් රජතුමා පැවිද්දෙහි සාන්දෘෂ්ටික ඵල බුදුරදුන්ගේ ඇසීය. තථාගතයන් වහන්සේ පැවිදිබැව්හි ඇති සාන්දෘෂ්ටික ඵල දැක්වීම්වස් ඔහුට සාමඤ්ඤඵල සූත්‍රය දේශනය කළහ. එහි පැවිදි බැව්හි ඇති සාන්දෘෂ්ටික ඵල බොහෝ ගණනක් දක්වා ඇත්තේ ය. එද මෙතැන්හි දැක්වීමට සුදුසුම වුවද සූත්‍රය ඉතා දීර්ඝ බැවින් මෙහි නො දක්වනු ලැබේ. එය දීඝනිකායේ දෙවන සූත්‍රය ය. වුවමනා අය දීඝනිකායෙහි බලාගනිත්වා.

12. අකාලික ගුණය

දින ගණනක් මාස ගණනක්, වර්ෂ ගණනක් ඉක්මීමෙන් පසු හෝ අනාගත භවවලදී ඵලය බලාපොරොත්තු විය යුතු, ඵල දෙන අනාගත කාලයක් ඇති ධර්මයෝ කාලික නම් වෙති. කුඹුරක් වපුළහුට එහි ඵල ලැබෙන්නේ මාස ගණනකට පසුවය. පොල් ගසක්, කොස් ගසක් සිට වූ තැනැත්තාට එයින් පල ලැබෙන්නේ වර්ෂ ගණනකට පසුව ය. ශිල්පයක් ශාස්ත්‍රයක් උගත් තැනැත්තාට එයින් ඵල ලැබෙන්නේ කලක් ගතවීමෙනි. යම් සේවාවක් කළහුට ද එයින් ඵල ලැබෙන්නේ කලක් ගතවීමෙනි. එබැවින් ඒවා කාලිකයෝ ය. දින, මාස, වර්ෂ ගත නො වී යමක ඵලය එවේලේම ලැබේ නම් එය අකාලික නම් වේ.

සර්වඥයන් වහන්සේ විසින් ප්‍රකාශිත ධර්මය අකාලික ගුණයෙන් යුක්තය. ලෝකෝත්තර ධර්මයන් අතුරෙන් අකාලික ගුණය විශේෂයෙන් ඇත්තේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන ලෝකෝත්තර මාර්ග සතරෙහි ය. සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමී ඵලය, අර්හත් ඵලය යන මේ ලෝකෝත්තර ධර්මයෝ සතර දෙන සතර මාර්ගයන්ගේ ඵලයෝ ය. නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය යම් කිසි හේතුවකින් හටගන්නා ඵලධර්මයන් නො වන නමුත්, ආර්‍ය්‍යමාර්ගයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු බැවින්, ආර්‍ය්‍ය මාර්ගයට පැමිණීමෙන් ලැබිය යුතු බැවින්, ඵලධර්මයක් ලෙස සැලකිය යුතුය. ආර්‍ය්‍යඵල සතර ආර්‍ය්‍ය මාර්ග සතරින් උපදවන ඵලයෝ ය. නිර්වාණය ආර්‍ය්‍යමාර්ගයන් නිසා ලබන එලයකි. ඒවායේ නැවත ඵල දානයක් නැති නිසා ඒ ධර්මයෝ අකාලිකය යි නො කිය යුත්තෝ ය. ඵලවලින් ද කල්ගත වී ලැබෙන ඵලය කාලිකය යි ද, එකෙණෙහි ම ලැබෙන ඵලය අකාලිකය යි ද කිය හැකිය. කල් ගත නො වී එවේලේ ම ලැබෙන ඵලයෝය යන අර්ථයෙන් ආර්‍ය්‍යඵල සතර හා නිවන අකාලික ධර්මයෝ ය යි කිය හැකිය. මෙසේ අකාලික යන වචනයේ අර්ථය දෙයාකාරයෙන් ගෙන නවලෝකෝත්තර ධර්මය ම අකාලික ගුණයෙන් යුක්තය යි කිය හැකිය.

යමෙකුගේ සන්තානයෙහි සෝවාන් මාර්ග චිත්ත සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය ඇති වුවහොත් එය නිරුද්ධ වනු සමග ම අතර කාලය නො තබා සෝවාන් ඵල චිත්තය පහළ වේ. ඒ පුද්ගලයා ද ලාමක වූ පෘථග්ජන භාවයෙන් මිදී ආර්‍ය්‍යපුද්ගලයෙක් වේ. අනාදිමත් කාලයක පටන් ඔහුගේ සන්තානයෙහි පැවත ආ දෘෂ්ටි - විචිකිත්සා නමැති ක්ලේශ දෙක සහමුලින් දුරුවේ. අපායෝත්පත්තියට හේතුවන තරමේ පව්කම් කිරීමට හේතුවන ඖදාරික ක්ලේශයෝ ද ඔහුගෙන් දුරුවෙති. ඔහු විසින් අතීතයේ කර ඇති අකුශලකර්මයන්ගේ අපායට පැමිණවිය හැකි ශක්තිය ද නැති වේ. සත් භවයකින් මතුයෙහි ලබන්නට තුබූ සකල සංසාර දුක්ඛයෙන් ද ඔහු මිදේ. මේ ඵල සියල්ල ම සෝවාන්මාර්ග චිත්තය ඇති වූ කෙණෙහි ම ඇති වේ. එබැවින් ඒ සෝවාන් මාර්ගසංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය ආකාලිකය යි කියනු ලැබේ. මේ නයින් සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය යන ලෝකෝත්තර ධර්ම තුනෙහි අකාලික භාවය ද විස්තර කළ යුතු ය. කුඹුරක් වපුළ තැනැත්තාට සමහර විට ඒවායේ ඵල නො ලැබී ද යන්නේ ය. ලෝකෝත්තර ධර්මයන්ගේ පලදීම පිළිබඳව අනියතත්ත්වයක් නැත. ලෝකෝත්තර මාර්ගයක් ඇති වුව හොත් එහි ඵලය ඇතිවීම නියතය.

ලෞකිකවූ ද ශාසන ධර්මවල එක්තරා ප්‍රමාණයක අකාලික ඵලයක් දැක්විය හැකි ය. කාමයන් හැර ගිහිගෙයින් බැහැරව බුදු සස්නෙහි පැවිදි වීම එක් ප්‍රතිපත්ති ධර්මයෙකි. කාමයන් කෙරෙහි ඇලී ගැලී ගිහිගෙයි වෙසෙනුවන්ට කාමයන් හේතුකොට ගෙන මහා දුඃඛස්කන්ධයක් ඇති වේ. භාර්‍ය්‍යාව, ගිහිගෙයි වෙසෙනුවන්ට ඇති, ඉතා උසස් කොට සලකන කාම වස්තුවකි. බිරිය නමැති උසස් කොට සලකන කාම වස්තුවට ඇලුම් කෙරෙමින් බිරියක් රක්ෂා කරන්නා වූ පුරුෂයා හට ඇයට ආහාරපාන වස්ත්‍රාභරණාදිය සැපයීමට හා ඇගේ නොයෙක් වුවමනා ඉටු කරදීමටත් බොහෝ වෙහෙසෙන්නට සිදු වේ. රෑ දාවල් දෙක්හි වැඩ කරන්නට සිදු වේ. එය ඉමහත් දුකකි. කොතෙක් මහන්සි ගත ද සමහර විට ඇගේ වුවමනා සම්පූර්ණ කරන්නට නො පිළිවන් වෙයි. එයින් පුරුෂයාට මහත් වූ මානසික දුඃඛස්කන්ධයක් ඇති වේ. බිරියගේ වුවමනා සම්පූර්ණ කරන්නට නො පිළිවන් වූ කල්හි ඈ නොයෙක් ලෙස පුරුෂයාට අපහාස කරන්නට පටන් ගනී. සමහර විට “අනේ මේ මිනිසකු හා ඇවිත් මට වූ විපත, උදව්වට කිසිවකු නෑ. වැඩ කර ඉවරයක් නෑ. කටට රසට කෑමක් නෑ. දොරට බසින්නට ඇඳුමක් නෑ. නෑයකු මිතුරෙකු පැමිණි විට සංග්‍රහ කරන්න දෙයක් නෑ, ගමනක් යන්න වියදම නෑ” යනාදීය අඳෝනා බස් කියයි. ඒවා ඇසෙන විට පුරුෂයකුට ඇතිවන සිතේ අමාරුව ඉතා මහත් ය. රාගය අතෘප්තිකරය. සැමියා විසින් බිරියට කොතෙක් සැලකුව ද, කිසි අඩුවක් නැතිව ඇගේ වුවමනා සියල්ල සම්පූර්ණ කර දුන ද ස්ත්‍රිය තවත් පුරුෂයන්ට කැමැති වන්නී ය. එබඳු කරුණු දැනගන්නට ලැබුණු විට පුරුෂයකුට ඇති වන සිතේ අමාරුව ඉතා මහත්ය. බිරියන් සම්බන්ධයෙන් ඇති වන මේ දුඃඛස්කන්ධය පැවිද්දන්ට නැත. එය මහත් වූ නිරාමිශ සුඛයෙකි. කාමයන් හැර පැවිදි වන්නකුට ඒ සුවය කල් ගොසින් නොව පැවිදි වූ කෙණෙහි ම ලැබෙන්නේය. එය පැවිද්දෙහි අකාලික ඵලයෙකි. දූ දරුවන් නිසා වන දුඃඛස්කන්ධය ද, බිරියන් නිසා වන දුඃඛස්කන්ධය සේ ම මහත් ය. එයින් නිදහස් වීම ද පැවිද්දෙහි අකාලික ඵලයෙකි. දූ දරුවන් පෝෂණය කිරීම සම්බන්ධයෙන් ද ගිහියන්ට මහත්වූ දුඃඛස්කන්ධයක් ඇත්තේ ය. ගිහියා විසින් ධනය සැපයීමට ද බොහෝ වෙහෙසිය යුතු ය. ලැබු ධනය ආරක්ෂා කිරීමටත් බොහෝ වෙහෙසිය යුතු ය. ධනය විනාශ වීමෙන් ද ඔහුට නොයෙක් විට දුක් ඇති වන්නේ ය. පැවිද්දාට ඒ දුඃඛස්කන්ධය නැත. එය පැවිද්දෙහි අකාලික ඵලයෙකි. මෙසේ තථාගතයන් වහන්සේගේ ධර්මය අනුව පිළිපදින්නවුන්ට එකෙණෙහි ම ලැබෙන බොහෝ අනුසස් ඇත්තේ ය.

මැවුම්කාර දෙවියන් කෙරෙහි භක්තිමත්ව වාසය කොට ඔවුන්ට ගරුබුහුමන් කිරීමෙන්, ඔවුන්ගේ ගුණ කීමෙන්, ඔවුනට සම්පත් පුදපූජා කිරීමෙන්, ඔවුන් සතුටු කොට ඔවුන්ගේ බලයෙන් මරණින් මතු ඔවුන් වෙසෙන දිව්‍යලෝකවලට ගොස් සැප සම්පත් වීඳිම පිළිබඳව ඇතැමුන් විසින් පරිකල්පනය කොට ප්‍රකාශිත ධර්මයෝ කල්ගත වී මරණින් පසු ලබන දෙයක් පිළිබඳව වූ ධර්ම වන බැවින් ඒවා කාලික ධර්මයෝ ය. ඒ ධර්ම වලට අනුව පුරන ප්‍රතිපත්තීහු ද කාලික ධර්මයෝ ය. ඒවාට කාලික ධර්ම වශයෙන් කියනුයේ ද ඔවුන්ගේ අදහස් අනුවය. ඔවුන්ට ඇතය යි සිතන මැවුම් කරුවන් හා ඔවුන් වෙසෙන ස්වර්ග ද සත්‍ය වශයෙන් නැති බැවින් ඒවා නිෂ්ඵල ධර්මයෝ ය.

මරණින් මතු දෙව්මිනිස් සැප ලැබීම සඳහා ශ්‍රමණ බ්‍රාහ්මණ, දුගී, මගී, යාචකාදීන්ට දන් දීම, පඤ්චශීලාදී ශීලයන් රක්ෂා කිරීම, මාපිය උපස්ථානය යනාදි පින්කම් කළ යුතු බව බුදුරදුන් විසින් ද වදාරා ඇත්තේ ය. ඒවා කාලික ධර්මයෝ ය. බුදු වරුන් ලොව පහළ වීමේ පරමාර්ථය සත්ත්වයාට දෙව් - මිනිස් සැප ලබා දීම නොව, ඔවුන් ලෝකයෙන් එතෙර කරවීම ය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මම භවය මඳකුදු වර්ණනා නො කරමි”යි වදාළහ. දෙවි - මිනිස් සැප ලැබීමේ කාලික ධර්ම ක්‍රමය බුදුවරුන් ඇතත් නැතත් ලොව සැමකල්හි පවත්නේ ය. බුද්ධ ශුන්‍ය කාලවලදී දිව්‍යලෝක මනුෂ්‍ය ලෝකයන් හිස් නො වී පවත්නේ, ඒ ධර්මයන් ලොව පවත්නා නිසා ය. පව්කම් කොට අපායට යාමට වඩා දානාදි පින්කම් කොට සුගතියට යාම යහපත් නිසා මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යය සපුරා නිවන් දැකීමට අපොහොසත් අභව්‍ය පුද්ගලයන්ගේ යහපත පිණිස තථාගතයන් වහන්සේ කාලික ධර්ම වූ ස්වර්ග මාර්ගය දේශන කළ සේක. බුදුවරුන්ගේ ප්‍රධාන ධර්මය මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යය දක්වන දේශනාව ය. අකාලික වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේ ක්‍රමය ලොකෝත්තර මාර්ගය සිය සතන්හි ඇති කර ගැනීමේ ක්‍රමය, දක්වන ඒ ධර්මය අකාලික ධර්මයෙකැයි කිය යුතුය. ඒ ධර්මයෙන් දක්වන තිසරණ සමාදානයේ පටන් සකල ප්‍රතිපත්තිය ද අකාලික වූ ලෝකෝත්තර මාර්ගය සඳහා පුරන පිළිවෙතක් වන බැවින් අකාලික ධර්මයක් බව කිය යුතුය.

තථාගතයන් වහන්සේ ශාක්‍ය රට සිලාවතී නම් ස්ථානයෙහි වැඩවෙසෙන සමයෙහි උන්වහන්සේට නුදුරු තැනක, මැනවින් මහණදම් පුරන තරුණ භික්ෂු පිරිසක් වූහ. මාරයා ඒ භික්ෂූන් මුළා කරවන්නට සිතා මහලු බමුණු තවුසකුගේ වේශයෙන් ඔවුන් වෙත ගොස් මෙසේ කීය. “භවත්නි, යුෂ්මත්හු තරුණයෝ ය. කළු කෙස් ඇත්තෝ ය. තවම ප්‍රථම වයසෙහි සිටින්නෝ ය. කාම ක්‍රීඩාවෙහි යෙදී නැත්තෝ ය. යුෂ්මත්හු මානුෂික කාමයන් වළඳත්වා, සාන්දෘෂ්ටික වූ කාම සුව හැර කාලික සුඛයකට (කලක් ගත වී ලබන සුවයකට) සිත් යොමු නො කෙරෙත්වා! එකල්හි ඔහුට භික්ෂුහූ මෙසේ කීය.

“න ඛො මයං බ්‍රාහ්මණ, සන්දිට්ඨීකං හිත්වා කාලිකං අනුධාවාම. කාලිකඤ්ච ඛො මයං බ්‍රාහ්මණ, හිත්වා සන්දිට්ඨිකං අනුධාවාම, කාලිකා හි බ්‍රාහ්මණ කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහුපායාස ආදීනවො එත්ථ භීය්‍යො. සන්දිට්ඨීකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි.”

(මාර සංයුත්ත)

තේරුම:-

“බ්‍රාහ්මණය, අපි ඇස් ඉදිරියේ ඇති දෙය හැර කල් ගත වී ලබන දෙයකට සිත නො යවමු. බ්‍රාහ්මණය, අපි කල් ගත වී ලබන දෙය හැර ඇස ඉදිරියේ ඇති දෙයකට සිත යොමු කරමුය, බ්‍රාහ්මණය, කාමයෝ කාලිකයෝ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙසීම ඇත්තෝය. එහි ආදීනව බොහෝය යි වදාළහ. මේ ධර්මය සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, ඕපනයිකය, විඥයන් විසින් ස්වසන්තානයෙහි වෙන වෙනම උපදවා දත යුතුය.”

මාරයා ඒ භික්ෂූන්ට ඉදිරිපිට ඇති සැප හැර මතු භවයකදී ලැබෙන දෙයක් ගැන නො සිතන්නය යි අනුශාසනය කෙළේ, භික්ෂූන් මතු දෙව්ලොව ඉපිද දෙව්සැප විඳිනු පිණිස මහණදම් පුරතියි සිතා ය. භික්ෂූන් මේ ධර්මය සාන්දෘෂ්ටිකය, අකාලිකය යි කීයේ බුදුරදුන් දෙසූ දහම හා ඔවුන් පුරන ශ්‍රමණධර්මය ගැනය. භික්ෂූහු ඒ කාරණ බුදුරදුන්ට ද සැලකළෝ ය. ඔවුන්ගේ ප්‍රකාශනය බුදුරජහු ද පිළිගත් සේක. මේ කරුණ අනුව පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ධර්ම දෙක්හි අකාලික ගුණය ඇති බව පිළිගත යුතු ය.

13. ඒහිපස්සික ගුණය

ඒහිපස්සිකො යන්නෙහි තේරුම, “එන්නය, මේ ධර්මය අසන්නය, මේ ධර්මය අනුව ක්‍රියා කර බලන්නය යි අන්‍යයන්ට කීමට - අන්‍යයන් මෙහෙයවීමට, අන්‍යයන්ට බලකිරීමට වුවද මේ ධර්මය සුදුසුය” යනුයි. ඉදිබුලොම - කවුඩු දත් - සා අං ආදිය නැති නිසා ඇවිත් බලන්නය යි ඒවා නො දැක්විය හැකිය. තීර්ථකයන් විසින් පරිකල්පිත ධර්ම ද සත්‍යවශයෙන් නැති බැවින් ඇවිත් බලන්නය කියා නො දැක්විය හැකිය. තථාගතයන් වහන්සේ විසින් දේශිත සතර මාර්ග සතරඵල නිර්වාණසඞ්ඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය උන්වහන්සේ විසින් දේශනා කළේ පළමු කොට තමන් වහන්සේගේ සන්තානයෙහි ඒ ධර්මයන් උපදවාගෙන හා ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනය. ඒ ධර්මයන් උපදවා ගත් ප්‍රත්‍යක්ෂ කර ගත් බොහෝ බුද්ධ ශ්‍රාවකයෝ ද වූහ. එබැවින් ඒ නවලෝකෝත්තර ධර්මය ගැන සැක කළ යුත්තක් නැත. මේ සසුනට ඇවිත් පිළිවෙත් පුරා ඒ ධර්මයන් ලබා ගන්නය යි සෙස්සන්ට කීමට බියවිය යුත්තක් නැත. ඒ නවලෝකෝත්තර ධර්මය ඒහිපස්සික ගුණයෙන් යුක්තය.

යමක් ඇසීමෙන් දැකීමෙන් කිරීමෙන් ප්‍රයෝජනයක් නැති නම් නපුරක් හෝ වේ නම් ඒ දෙය ඇසීමෙහි දැකීමෙහි කිරීමෙහි සෙස්සන් යෙදවීම නුසුදුසු ය. යම් ධර්මයක් ඇසීමෙන් කල්පනා කිරීමෙන් එයට අනුව ක්‍රියා කිරීමෙන් වන ප්‍රයෝජනයක් නැති නම්, නපුරක් විය හැකි නම් ඒ ධර්මය ඇසීමෙහි ඒ ධර්මය අනුව පිළිපැදීමෙහි අන්‍යයන් යෙදවීම නුසුදුසු ය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය යමකු පහන් සිතින් අසනවා නම් එයිනුදු ඔහුට යහපතක් වේ. ඇතැම්හු ඒ පිනෙන් ම ද මරණින් මතු දෙව්ලොව උපදිති. ඉතාම පහත් දෙව්ලොව වූ චාතුර්මහාරාජිකයෙහි දෙවියන්ට අවුරුදු අනූලක්ෂයක් ආයු ඇත්තේ ය. ඔවුනට ආහාරපානවස්ත්‍රාදි සියල්ල පින් බලයෙන් නිරායාසයෙන් ම ලැබේ. ඒවා ලැබීම සඳහා මිනිස් ලොව මෙන් වැඩ කළ යුතු බවක් දෙව්ලොව නැත. අසවල් දෙය නැත, අසවල් දෙය විනාශ වුනාය, අසවල් අලාභය විය කියා තැවීමක් ඔවුනට නැත. ලෙඩ සෑදී දුක් විඳීමක් ලෙඩට ප්‍රතිකාර ගැනීම සඳහා වෙහෙසීමක් ඔවුනට නැත. මිනිසුන්ගේ ශරීර මෙන් පරණව ඔවුන්ගේ ශරීර දිරායාමකුත් නැත. ආයු කෙළවර වීමෙන් ඔවුන් මිය ගිය පසු මළ සිරුරක් ද ඉතිරි නො වේ. එබැවින් මළසිරුරු එසවීමක් ද නැත. බුදුරදුන්ගේ ධර්මය අනුව වැඩි දුරට පිළිපදින්නා වූ තැනැත්තාට රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබා ගත හැකිය. ධ්‍යාන සුඛය දෙව්ලොව මිනිස්ලොව ඇති කාමසුඛයන්ට දහස් ගුණයෙන් උසස් ය. ප්‍රණීත බෝජන වළඳන රජකුට චණ්ඩාලභෝජනය පිළිකුල් වන්නාක් මෙන් අතිප්‍රණීත ධ්‍යානසුඛය ලබා ඇතියවුන්ට කාමසුඛය පිළිකුල් දෙයකි. ධ්‍යානසම්ප්‍රයුක්ත ප්‍රීතිය ද එසේ ම අතිප්‍රණීතය. ධ්‍යානලාභීන්ට මෙලොව අතිප්‍රණීතසුඛයෙන් හා ප්‍රීතියෙන් කල් යවා මරණින් මතු බ්‍රහ්මලෝකයෙහි ඉපදිය හැකිය. ඔවුනට එහි ධ්‍යානසුඛයෙන් කල්ප ගණනක් ජීවත්විය හැකිය. තව දුරටත් ඒ ධර්මය අනුව පිළිපදින්නවුන්ට සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අර්හත් යන සතරමාර්ග සතර ඵලයන්ට පැමිණ දුක් කෙළවර කර ගත හැකි ය. නිර්වාණ සංඛ්‍යාත පරමසුන්දර සුඛය වූ පරණ වීමෙන් නරක් නොවන, කිසි කලෙක නැති නොවන සුඛය ලැබිය හැකිය. බුදුරදුන්ගේ ධර්මය ඇසීමෙහි දැරීමෙහි එය අනුව පිළිපැදීමෙහි මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් රජකුට වුවද රජසම්පත් හැර මේ ධර්මය ඇසීම, මේ ධර්මය අනුව පිළිපැදීම සුදුසු ය. සක්විතිරජකුට වුවද සුදුසු ය. තථාගතයන් වහන්සේ දායාද ඉල්ලූ රහල්කුමරුන් විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කර වූයේ ද අභිෂේක මංගලය, ගෘහප්‍රවේශ මංගලය, විවාහ මංගලය යන තුන් මඟුල් සිදු කිරීමට සැරසී සිටි නන්ද කුමරුන් ඒ මඟුල් දිනයේ ම විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කර වූයේ ද මේ ධර්මයෙහි ඇති ඒහිපස්සික ගුණය නිසා ය.

බුදුදහමෙහි ඇති මේ ඒහිපස්සික ගුණය නිසා අන්‍යතීර්ථකයන්ගේ ධර්මයන් පිළිගෙන සිටි බොහෝ ක්ෂත්‍රියයෝ ද, බ්‍රාහ්මණයෝ ද, ගෘහපතියෝ ද ඔවුන් විසින් කලින් පිළිගෙන සිටි බ්‍රාහ්මණධර්මයන් තීර්ථක ධර්මයන් හැර බුදුදහම අසා එය පිළිගෙන බුදුසමයට ඇතුළුව බුද්ධශ්‍රාවකයෝ වූහ. බොහෝ අන්‍ය තීර්ථක ශ්‍රමණයෝ ද ඔවුන් පිළිගෙන සිටි දහම් හැර මේ ධර්මය පිළිගෙන බුදුසස්නෙහි පැවිදිව බුද්ධශ්‍රාවකයෝ වූහ.

එක් කලෙක අචේලකාශ්‍යප නම් නිරුවත් තවුසෙක් මච්ඡිකාසණ්ඩ නම් ගමට පැමිණියේ ය. ඒ තවුසා එගම වෙසෙන ප්‍රසිද්ධ බුද්ධ ශ්‍රාවකයකු වන චිත්‍රගෘහපතිගේ පැරණි මිත්‍රයෙකි. කාශ්‍යප මච්ඡිකාසණ්ඩයට පැමිණි බව ඇසූ චිත්‍රගෘහපති ඔහු දක්නට ගොස් පිළිසඳර කථා කොට එකත්පසෙක හිඳ “ස්වාමීනි, ඔබ පැවිදිව දැනට කොතෙක් කල් ගත වී ඇතිදැ”යි විචාළේ ය. “ගෘහපතිය, මා පැවිදිව දැනට තිස්වසක් වන්නේය”යි කාශ්‍යප කීය. “ස්වාමීනි, තිස්වසක් මහණදම් පුරා ඔබ වහන්සේ විසින් කිනම් උසස් දෙයක්, කිනම් සැප විහරණයක් ලබා ඇත්තේ දැ”යි චිත්‍රගෘහපති ඇසීය. “ගෘහපතිය, මුඩුබවත් - නිරුවත් බවත් - දූලි පිස්නා මොනරපිල් මිටියත් හැර මා විසින් ලබා ඇති උසස් දෙයක් නැත ය”යි කාශ්‍යප කීය. එකල්හි චිත්‍ර ගෘහපති “ඔබගේ ධර්මයේ ස්වාඛ්‍යාතභාවය ආශ්චර්‍ය්‍යවත් ය, ඒ ධර්මයෙහි තිස්වසක් පිළිවෙත් පුරා ද මුඩුබවත් නිරුවත්බවත් මොනරපිල් මිටියත් හැර අන් උසස් දෙයක් නො ලැබිය හැකිවි ය”යි කීය. “ගෘහපතිය, ඔබ උපාසකත්වයට පැමිණ කොතෙක් කල් ගතවී ඇතිදැ”යි කාශ්‍යප ඇසීය. “ස්වාමීනි, මා උපාසකත්වයට පැමිණ ද තිස්වසක් වේ ය”යි චිත්‍රගෘහපති කීය. “ගෘහපතිය, උපාසකත්වයට පැමිණ සිටි තිස් වසර තුළ ඔබ ඉන් ලබාගත් යම් කිසි උසස් දෙයක් සැප විහරණයක් ඇත්තේදැ”යි කාශ්‍යප කීය.

එකල්හි චිත්‍රගෘහපති, “මම කාමයන් කෙරෙන් වෙන්ව, අකුශලධර්මයන් කෙරෙන් වෙන්ව, විතර්ක සහිත වූ විචාර සහිත වූ නීවරණවිගමන සංඛ්‍යාත විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ රිසි සේ වෙසෙමි, ද්වීතිය ධ්‍යානයට - තෘතීයධ්‍යානයට - චතුර්ථධ්‍යානයට පැමිණ රිසි සේ වෙසෙමි, ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට කලින් කාලක්‍රියා කෙළෙම් නම් භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සංයෝජනයකින් යුක්ත වූයේ මේ ලෝකයට ඉපදීම වශයෙන් නැවත පැමිණෙන්නේ ද ඒ සංයෝජන චිත්‍රගෘහපතිහට නැත්තේ ය යි ප්‍රකාශ කළහොත් එය ආශ්චරයයක් නොවේය”යි කීය.

එකල්හි අචේල කාශ්‍යප කියනුයේ “ධර්මයේ ස්වාඛ්‍යාතභාවය ආශ්චර්ය්‍යය, සුදුවත් හඳනා ගිහියකුව සිට ද මේ චිත්‍රගෘහපති ආර්‍ය්‍ය භාවයට පැමිණ උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් ලබා ඇත්තේය. සැපවිහරණයක් ලබා ඇත්තේ ය. ගෘහපතිය, “මට ද මේ ධර්මයෙහි පැවිද්ද හා උපසම්පදාව ලබා දෙනු මැනව”යි කීය. චිත්‍ර ගෘහපති ඔහු තෙරුන් වහන්සේලා වෙත කැඳවා ගෙන ගොස් “ස්වාමීනි, මේ අචේල කාශ්‍යප මාගේ පැරණි යහළුවකි, මොහු බුදුසස්නෙහි පැවිදි කරවන සේක්වා! මම මොහුට චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යයන් සැපයීමට උත්සාහ කරමි”යි කීය. තෙරුන් වහන්සේලා කාශ්‍යප පැවිදි කළහ. ඔහු මැනවින් බුදුසස්නෙහි මහණදම් පුරා නෙබෝ කලකින් සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියේය.

(චිත්ත සංයුත්ත)

අචේල කාශ්‍යප මෙන් ම බුදුරදුන්ගේ ධර්මය අසා ඔවුන් පිළිගෙන සිටි දහම් හැර පැවිදි වූ අන්‍ය තීර්ථකයෝ බොහෝ දෙනෙකි. නෛර්‍ය්‍යාණික වූ මේ ධර්මය කිනම් උපායකින් වුව ද අන්‍යයන් ලවා ඇස්සීමට සුදුසු බැවින් අනේපිඬු මහසිටාණෝ ඔවුන්ගේ පුත්‍ර කාළ නමැත්තා දහම් අසා මතක තබා ගෙන ආවහොත් දහසක් කහවණු දෙන්නට පොරොන්දු වී දහම් ඇසීමට බුදුරදුන් වෙත යැවූහ.

කාළ සිටුපුත්ගේ කථාව

අනේපිඬු සිටාණන්ට කාළ නම් පුත්‍රයෙක් විය. ඔහු සැදැහැවත් ගුණවත් සිටුවරයකුගේ පුතකු වුවද දහම් ඇසීමට විහාරයට නො යයි. බුදුරදුන් නිවසට වැඩම කළ කල්හි ද උන් වහන්සේ ඉදිරියට නො යයි. දහම් නො අසයි. වතක් පිළිවෙතක් නො කරයි. සිටුගෙයි දිනපතා මහසඟනට දන් දෙන නුමුත් ඔහු ඒ පැත්තට නො යයි. ඔහුගේ නො මනා පැවැත්ම දැක සංවේගයට පැමිණි සිටුතුමා, “මෙසේ මිසදිටු ගෙන සිට මොහු අපායට ගිය හොත් නපුරෙක, ධනයෙන් පොළඹවා හෝ මොහුගේ ලබ්ධිය බිඳ පියමි”යි සිතා ඔහු අමතා “දරුව, විහාරයට ගොස් පෙහෙවස් වැස දහම් අසා එව, එසේ කළ හොත් නුඹට කහවනු සියයක් දෙමි”යි කීය. ඔහු එසේ කළහොත් කහවණු සියය ම දෙනවාම ද? කියා සිටුතුමාගෙන් නැවත නැවත අසා තුන්වරක්ම පොරොන්දු කරවා ගෙන පෙහෙවස් ඉටා විහාරයට ගොස් මුදලට සිල්ගන්නනට ආ ඔහුට බණක් ඇසීම නුවුවමනා බැවින් ඉඩ ඇති තැනකට වී නිදා සිට පසු දින නිවසට ආයේය. ඔහු පැමිණි කල්හි සිටුතුමා මොහුට කැඳ ආදිය වහා දෙවයි සේවකයන්ට අණ කෙළේය. “මුදල් දෙනතුරු කිසිවක් නො වළඳමි”යි ගෙනෙන ගෙනෙන දෙය ඔහු ප්‍රතික්ෂේප කෙළේය. සිටුතුමා කහවණු සියය දුන් කල්හි එය අත තබාගෙන ඔහු ආහාර අනුභව කෙළේය. පසු දින සිටුතුමා “විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි හිඳ බණ අසා බණපදයක් උගෙන ආවහොත් කහවණු දහසක් දෙමියි” කියා ඔහු බණ ඇසීමට පිටත් කළේ ය. ඔහු ගොස් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිට බණ පදයක් දැනගෙන පළා යන්නට සිතා බණ ඇසුයේය. ඔහුගේ අදහස දත් තථාගතයන් වහන්සේ ඔහුට එක් බණපදයකුදු මතක තබා ගත නො හෙන පරිදි ප්‍රාතිහාර්‍ය්‍යයක් කළහ. ඔහුට ඇසූ ඇසූ බණපදය අමතක වී ගියේය. එකක් හෝ මතක තබා ගන්නට වුවමනා බැවින් ඔහු ඉතා ඕනෑකමින් දිගට ම බණ ඇසූයේය. අසන බණපද අමතක වී ගියද ඒවාගේ අදහස් ඔහුගේ සිතෙහි රැඳෙයි. එයින් ඔහුට ධර්මය අවබෝධ විය. ඔහු සෝවාන් ඵලයට පැමිණියේ ය. ඔහු පසු දින බුද්ධ ප්‍රමුඛ මහාසංඝයා වහන්සේ සමඟ ම නිවසට ගියේ ය. සිටුතුමා ඔහු දැක, “අද මාගේ පුත්‍රයාගේ ආකාරය යහපතැ”යි සිතුවේය. කාළ ද “අද බුදුරදුන් ඉදිරියේ මට මුදල් නොදුන හොත් යෙහෙකැයි” සිතී. ඔහු එසේ සිතුයේ බුදුරදුන් කාරණය දැන ගන්නවාට ලැජ්ජාවෙනි. භාග්‍යවතුන් වහන්සේ කාරණය දන්නා බව ඔහු නො දනී. සිටුතුමා බුදුපාමොක් සඟනට කැඳ පිළිගන්වා පුත්‍රයාට ද කැඳ දෙවීය. ඔහු කිසි කථාවක් නොකොට කැඳ බීවේය. කැවිලි හා බත් ද අනුභව කෙළේය. සිටුතුමා කහවණු පොදිය ඔහු ඉදිරියේ තබා “දරුව, මම නුඹට දහසක් දෙන්නට පොරොන්දු වී පෙහෙවස් වැස බණ ඇසීමට විහාරයට යැවීමි. නුඹ එය කළ නිසා මේ කහවණු දහස ගනුව”යි කීය. ඔහු බුදුරදුන් ඉදිරියේ මුදල් දීම ගැන ලජ්ජාවට පත්ව ඒවා නො ගත්තේ ය. “ගනුව දරුව”යි නැවත නැවත කීව ද නො ගත්තේය. එකල්හි සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ වැඳ පුත්‍රයාගේ ප්‍රවෘත්තිය උන් වහන්සේට සැල කෙළේය. එකල්හි තථාගතයන් වහන්සේ “සිටාණෙනි, අද ඔබ පුත්‍රයාට චක්‍රවර්ති රාජසම්පත්තියට ද දිව්‍යබ්‍රහ්ම සම්පත්තිවලට ද වඩා සෝවාන් ඵලය අගනේය”යි වදාරා මේ ගය වදාළ සේක.

“පථව්‍යා එකරජ්ජෙන - සග්ගස්ස ගමනෙන වා
සබ්බලොකාධිපච්චෙන - සොතාපත්තිඵලං වරං”

(ධම්මපදට්ඨකථා)

“මුළු පොළොවට ම ඉසුරු සක්විතිරජකම ලැබීමට ද, සවිසි ස්වර්ගලෝකයන්හි උපත ලැබීමට ද මුළුලොවට ම අධිපති වීමට ද වඩා සෝවාන් ඵලය උසස් ය” යනු එහි තේරුම ය. සෝවාන් ඵලය මෙතරම් උසස් වන්නේ එය ලැබූ පුද්ගලයා සතර අපායෙන් මිදුණු පුද්ගලයකු වන බැවිනි. පෘථග්ජන පුද්ගලයා සක්විති රජව සිටිය ද, ශක්‍රව බ්‍රහ්මව සිටිය ද, භවාග්‍රයට පැමිණ සිටිය ද අපායට බරව සිටින්නෙකි. එබැවින් ඒ සම්පත් සෝවාන් ඵලය තරම් උසස් නැත. ධර්මය මෙසේ උසස් වන බැවින් සක්විති රජය වුව ද හැර, ධර්මය ස්වසන්තානයෙහි ඇති කර ගැනීම සුදුසු ය. අන්‍යයකු රජකමින් බැහැර කර වුව ද, ධර්මයෙහි පිහිටවීම සුදුසු ය. ඒ ධර්මයේ ඇති ඒහිපස්සික ගුණය ය.

14. ඕපනයික ගුණය

ස්වසන්තානයට පමුණුවා ගැනීමට, සිය සිතින් පැමිණීමට සුදුසු දෙය ඕපනයික නමි. හිස ගිනි ගත්තකු විසින් එය නිවීමට ව්‍යාවෘත නොවී වුව ද හැඳි වතට ගිනි ගත්තකු විසින් එය නිවීමට ව්‍යාවෘත නො වී වුව ද, උපදවා ගැනීම් වශයෙන් ස්වසන්තානයට පමුණුවා ගැනීමට සුදුසු බැවින් ආර්‍ය්‍යමාර්ග සතරය, ආර්‍ය්‍යඵල සතරය යන මේ ලෝකෝත්තර ධර්මයෝ අට දෙන ඕපනයික නම් වෙති. නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය අරමුණු කිරීම් වශයෙන් සිය සිතින් පැමිණීමට සුදුසු බැවින් ඕපනයික නම් වේ. කිනම් පරිත්‍යාගයක් කොට වුවද, කොතරම් වෙහෙසක් ගෙන වුව ද, කොතරම් මහත් දුකක් විඳ වුව ද, මේ ධර්මය ස්වසන්තානයට පමුණුවා ගැනීම ස්වසන්තානයෙහි ඇති කර ගැනීම සුදුසු බැවින් මහ කාරුණිකයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.

“අප්පටිවානි සුදාහං භික්ඛවෙ, පදහාමි කාමං තචො ච නහරූ ච අට්ඨී ච අවසිස්සතු උපසුස්සතුං සරීරෙ මංසලොහිතං යං තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී ති. තස්ස මය්හං භික්ඛවෙ, අප්පමාදාධිගතා බොධි, අප්පමාදාධිගතො අනුත්තරො යොගක්ඛෙමො.

තුම්හෙ චෙ පි භික්ඛවෙ, අප්පටිවානං පදහෙය්‍යාථ කාමං තචො ච නහරූ ච අට්ඨි ච අවසිස්සතු උපසුස්සතු සරීරෙ මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී ති. තුම්හෙ පි භික්ඛවෙ, න චිරස්සෙ ව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථ.

තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං, “අප්පටිවානං පදහිස්සාම කාමං තචො ච නහරූ ච අට්ඨී ච අවසිස්සතු උපසුස්සතු සරීරෙ මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී’ති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං”

(අංගුත්තර දුක නි.)

තේරුම:-

“මහණෙනි, මම සමත් - නහරත් - ඇටත් ඉතිරි වෙතොත් වේ වා. ශරීරයේ ලේ මස් වියළී යතොත් යේවා. පුරුෂබලයෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් යම් සතරමාර්ගඥානයකට හා සර්වඥතාඥානයකට පැමිණිය යුතු ද එයට නො පැමිණ වීර්‍ය්‍යය නො හරිමි යි පසු බැසීමක් නැවතීමක් නො කොට වීර්‍ය්‍ය කෙළෙමි. මහණෙනි, එසේ කළා වූ මා විසින් අප්‍රමාදයෙන් චතුර්මාර්ගඥානය හා සර්වඥතාඥානය අධිගමනය කරන ලද්දේය. අනුත්තර වූ අර්හත් ඵලය හා නිවන අධිගමනය කරන ලද්දේ ය.

මහණෙනි, තෙපි ද ශරීරයේ සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් වේවා. ලේ මස් වියළී යතොත් යේවා, පුරුෂබලයෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතු ද, එයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ හැරීමක් නො වන්නේ යි නො නවත්වා නොපසු බැස වීර්‍ය්‍ය කරන්නහු නම්, මහණෙනි, තෙපිද යමක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිද වෙත් ද ඒ අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍යපර්යවසාන සංඛ්‍යාත අර්හත්ඵලය ඉහාත්මයෙහි ම විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නාහුය.

මහණෙනි, එහෙයින් තොප මෙයින් හික්මිය යුතුය. ශරීරයේ සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් වේවා, ලේමස් වියළී යතොත් යේවා, යමකට පුරුෂ බලයෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු ද, එයට නො පැමිණ වීර්‍ය්‍යය ලිහිල් කිරීමක් නො වන්නේ ය, නො නවත්වා ම වීර්‍ය්‍ය කරන්නෙමුය. මෙසේ තොප විසින් හික්මිය යුතුය” යනු ඉහත දැක්වුණු පාඨයේ තේරුමය. කොතරම් දුකක් විඳ වුව ද ලෝකෝත්තර ධර්මයන් ස්වසන්තානයට පමුණුවා ගැනීම යහපත් බැවින් අතීතයේ ඇතැම් භික්ෂූහු ජීවිතපරිත්‍යාගයෙන් ක්‍රියා කොට ඒ ධර්මයන් ලබා ගත්හ.

කලවා ඇට බිඳගෙන මහණදම් පිරූ භික්ෂූන් වහන්සේ

සැවැත් නුවර ධනවත් මිනිසෙක් සතළිස් කෝටියක් ධනය හැර දමා පැවිදිව එක් ආරණ්‍යක වාසය කළේය. ඒ භික්ෂූන් වහන්සේගේ බාල සහෝදරයාගේ බිරිය “මොහු සිවුර හැර නැවත මෙහි පැමිණිය හොත් මේ ධනය අපට නැති වන්නේ ය. ඒ නිසා මේ භික්ෂුව මැරවිය යුතුය”යි භික්ෂූන් වහන්සේ මරා දැමීම සඳහා සොරමුළක් පිටත් කළාය. සොරු ගොස් තෙරුන් වහන්සේ වට කර ගත්හ. උන්වහන්සේ සොරු සමූහය දැක “උපාසකවරුනි, කුමට අවුදැ”යි ඇසූහ. “ඔබ මරා දමන්නට ආමු”යි සොරු කීහ. කිසි ම ධනයක් තමන් වෙත නැතිව අරණ්‍යයෙහි වෙසෙන තමන් වහන්සේ මරන්නට තැත් කරන්නේ කිනම් කරුණකට ද යනු උන්වහන්සේට වැටහෙන්නට ඇත. “ගෙදර මාගේ බොහෝ ධනය ඇත, එහි ගොස් නුඹලාට බොහෝ ධනය ලබා දිය හැකිය. මා නිදහස් කරන්නය”යි කියා සොරුන්ගෙන් නිදහස් වන්නට උන් වහන්සේට ඉඩ තිබිණ. එහෙත් උන් වහන්සේ එසේ නො කළහ. උන් වහන්සේ ඒ අවස්ථාවෙහි කල්පනා කළේ තමන් බලාපොරොත්තු වන ලෝකෝත්තර ධර්මය නිකම් ආකාරයකින් හෝ ලබා ජීවිතය කෙළවර කිරීමය. උන් වහන්සේ සොරුන් අමතා “උපාසකයෙනි, ඇපයක් ගෙන අද මේ රාත්‍රිය මට නිදහස දෙන්නය”යි කීය. “මහණ, මෙහි ඔබට ඇප වන්නේ කවුරුන්දැ”යි සොරු කීහ. එකල්හි තෙරුන් වහන්සේ මහ කළු ගලක් ගෙන තළා, තමන් වහන්සේගේ කලවා ඇට බිඳ “උපාසකයෙනි, මේ ඇපය සෑහේදැ”යි කීහ. සොරු ඉන් ඉවත්ව සක්මන් කෙළවර ගිනි දල්වා නිදා ගත්හ. තෙරුන් වහන්සේ වේදනාව යටපත් කර තමන් වහන්සේගේ ශීලය බලන්නාහු එය ඉතා පිරිසිදු බව දැක, ඉමහත් සොම්නසට පැමිණ තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි මහත් වීර්‍ය්‍යයෙන් භාවනා කොට අරුණෝද්ගමනයේදී සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියහ.

ජීවිත පරිත්‍යාගයෙන් මහණදම් පිරූ භික්ෂූන් තෙනමක්

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ සම්මුඛශ්‍රාවකයන්ගෙන් පැවිද්ද ලැබූ කුලපුත්‍රයෝ තිදෙනෙක් චාරිත්‍රානුකූලව කමටහන් ගෙන ප්‍රත්‍යන්තයෙහි එක් අරණ්‍යයක වෙසෙමින් මහණ දම් පිරූහ. උන් වහන්සේලා අතරින්පතර කාශ්‍යප බුදු රදුන්ගෙන් ස්වර්ණ වෛත්‍යය වැඳීම පිණිස හා දහම් අසනු පිණිස නගරයට ගියහ. පසු කාලයේදී එපමණකට ද අරණ්‍යයෙන් බැහැර වීමට නො කැමැත්තාහු එහි ම අප්‍රමාදව මහණදම් පුරමින් විසූහ. එහෙත් උන් වහන්සේලාගෙන් එක් නමකට ද විශේෂාධිගමයක් නොවීය. විශේෂාධිගමයක් නොලැබූ උන් වහන්සේලා සිතන්නාහු, “පිඬු පිණිස බැහැර යන්නා වූ අපි ජීවිතයෙහි අපේක්ෂාව ඇත්තෝ වෙමු. ජීවිතාශාව ඇතියවුන්ට ලෝකෝත්තර ධර්මයන් ලැබීම දුෂ්කරය. පෘතග්ජන මරණය නපුරුය. අප විසින් ජීවිතයෙහි හා කයෙහි අපේක්ෂාව හැර හිනිමඟක් බැඳ මේ පර්වතයට පෘථග්ජන භාවයෙන් නො බස්නා පරිදි නැග මහණ දම් පිරිය යුතුය”යි සිතා තිදෙනා වහන්සේ කථාකර ගෙන සම සිතින් හිණිමඟක් බැඳ පර්වතයට නැඟ හිණිමඟ පෙරළා දමා ජීවිතාශාව හැර මහණ දම් පුරන්නට පටන් ගත්හ. ඒ තෙනමගෙන් වැඩිමහලු තෙරණුවෝ හේතු සම්පත් ඇත්තාහු එදින ෂඩභිඥා ද ඇතිව අර්හත්ඵලයට පැමිණ වදාළහ. උන් වහන්සේ පසු දින ඍද්ධියෙන් හිමාලයට වැඩම කොට අනවතප්ත විලෙන් මුවසෝදා උතුරුකුරු දිවයිනෙහි පිඬු සිඟා වළදා නැවත ද පිඬු සිඟා ගෙන අනෝතත්තවිලේ දිය හා නාගලතා දැහැටි ද ගෙන ඉතිරි දෙනම වෙත ගොස් “ඇවැත්නි, මාගේ ආනුභාවය බලව්, මේ උතුරුකුරු දිවයිනෙන් ගෙනා පිණ්ඩපාතය ය. මේ අනෝතත්තවිලේ ජලය ය. මේ නාගලතා දැහැටිය. මේවා පරිභෝග කොට ඔබ වහන්සේලා මහණදම් පුරත්වා! මම මෙසේම ඉදිරියටත් ඔබ වහන්සේලාට උපස්ථාන කරමිය”යි කීය. එකල්හි උන් වහන්සේලා “ස්වාමීනි, ඔබ වහන්සේ ශ්‍රමණකෘත්‍යය නිම කර ගෙන සිටින්නහුය. නුඹ වහන්සේ හා කථා කිරීමත් අපට පළිබෝධයක. ඒ නිසා නුඹ වහන්සේ අප වෙත නො එන සේක්වා”යි කීහ. වැඩිමහලු තෙරුන් වහන්සේ නැවත නැවතත් කී නමුත් උන් වහන්සේලා ඒ බොජුන් නො පිළිගත්හ. ඒ දෙනමගෙන් එක් නමක් දෙතුන් දිනකින් අනාගාමී ඵලයට පැමිණ පඤ්චාභිඥා ලැබූයේ ය. උන්වහන්සේ ද එසේ කළහ. ඉතිරි තෙරණුවෝ පෙර සේ ම ඒවා ප්‍රතික්ෂේප කොට මඟඵල ලැබීමට උත්සාහ කරන්නාහු හේතුසම්පත් මඳ බැවින් සත්වන දිනයේ පෘතග්ජන කාලක්‍රියාවෙන් ම කාලක්‍රියා කොට දෙව්ලොව උපන්හ. රහත් වූ තෙරුන් වහන්සේ එදින ම පිරිනිවන් පා වදාළහ. අනාගාමී තෙරුන් වහන්සේ කලුරිය කොට ශුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්හ. දෙව්ලොව උපන් තෙරණුවෝ දෙව්ලොවින් දෙව්ලොව උපදමින් සිට අප බුදුරදුන්ගේ කාලයෙහි මිනිස්ලොව ඉපිද සභිය නමින් පිරිවැජියෙක්ව බුදුරදුන් වෙත එළඹ ප්‍රශ්න අසා පැහැදී බුදුසස්නෙහි පැවිදිව අර්හත්ඵලයට පැමිණියහ.

(සුත්තනිපාතට්ඨකථා)

පර්යාප්තිධර්මය ද අන් සියලු වැඩ නවත්වා කිනම් පරිත්‍යාගයක් වුව ද කොට කිනම් වෙහෙසක් වුව ද විඳ අසා දැනගැනීම් වශයෙන් ස්වකීය සන්තානයට පමුණුවා ගැනීම සුදුසුය. එහි ද ඕපනයික ගුණය ඇත්තේය. අතීතයෙහි ඇතැම්හු ධන ජීවිත පරිත්‍යාගයෙන් ද ධර්මය ශ්‍රවණය කළහ. දහම්සොඬ රජතුමා ධර්මශ්‍රවණය සඳහා රජය හා ජීවිතය ද පරිත්‍යාග කෙළේය. ගවරවාළඅංගණ නම් ස්ථානයෙහි අඳුරේ සිට දහම් ඇසූ එක් භික්ෂුවක් නපුරු සර්පයකු විසින් දෂ්ට කරන ලද්දේය. භික්ෂුව කිසිවකුට ඒ බව නො දන්වා සර්පයා අල්වා ථවිකයකලා බැඳ තබා කිසි ප්‍රතිකාරයක් නො කොට එළිවන තුරු දහම් ඇසීය. “දීඝවාපියේ මහාජාතකභාණක තෙරුන් වහන්සේ ගාථා දහසකින් යුත් වෙස්සන්තර ජාතකය දේශනය කෙරෙති”යි අසා තිස්සමහා විහාරවාසී තරුණ භික්ෂුවක් එක් දිනකින් ම නවයොදුන් මඟ ගෙවා පා ගමනින් ම දහම් ඇසීම සඳහා එහි ගියේය. උල්ලභකෝලකණ්ණිකා නම් ස්ථානයෙහි විසූ ස්ත්‍රියක් “දීඝභාණක මහා අභය තෙරණුවෝ ආර්‍ය්‍යවංශ ප්‍රතිපදාව දේශනය කෙරෙති”යි අසා පා ගමනින් ම පස්යොදුන් මඟ ගෙවා ගොස් දවල් කාලයේ ම එහි පැමිණ එතැන් පටන් පසු දින අරුණෝදය දක්වා දහම් ඇසීය. කාළුම්බර නම් ගමෙහි කාන්තාවක් සිතුල්පව් වෙහෙරට බණ අසනු සඳහා ගොස් ගසක් මුල දරුවා නිදිකරවා සිට ගෙන ම බණ ඇසුවා ය. ඇය බලා සිටියදී ම සර්පයකු පැමිණ ඇගේ දරුවා දෂ්ට කර ගියේ ය. ඕ තොමෝ කිසිදු කලබලයක් නො කොට එළිවනතුරු දහම් අසා සෝවාන්ඵලයට පැමිණ සත්‍යක්‍රියාවෙන් පුත්‍රයා ද සුවපත් කර ගත්තාය.

(මේ කථා මනෝරථපූරණියෙන් ගන්නා ලදී)

මේ පර්‍ය්‍යාප්ති ධර්මය කිනම් පරිත්‍යාගයක් වුවද කොට ස්වසන්තානයට පමුණුවා ගැනීමට නොහොත් දැන ගැනීමට සුදුසු වන්නේ එහි පිහිටා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබිය හැකි බැවිනි. පර්‍ය්‍යාප්තිය ප්‍රතිපත්ති ප්‍රතිවේධ යන ශාසන තුනෙන් ප්‍රතිපත්තිය නැතහොත් ප්‍රතිවේධය නො ලැබිය හැකිය. පර්‍ය්‍යාප්තිය නැතහොත් ප්‍රතිපත්තිය නො පිරිය හැකිය. එබැවින් පර්‍ය්‍යාප්තිය ශාසනයේ මූලය වේ.

මේ දිවයිනට චණ්ඩාලතිස්ස මහාභය පැමිණි කල්හි සක්දෙව්රජු මහපසුරක් නිර්මාණය කර “ඉදිරියට මහත් භයක් හට ගන්නේය, වැසි නො ලැබී යන්නේය, ප්‍රත්‍යය නො ලැබීමෙන් වෙහෙසට පත්වන කල්හි භික්ෂූහු වහන්සේට පර්‍ය්‍යාප්ති ධර්මය රැකගන්නට නො පිළිවන් වන්නේය. එබැවින් ආර්‍ය්‍යයන්වහන්සේලාට පරතෙරට ගොස් දිවි රැකගැනීම සුදුසුය. නුඹ වහන්සේලා මේ මහපසුරට නැඟ පරතෙරට යෙත්වා”යි භික්ෂූන්ට දැන්වීය. පරතෙර යනු සඳහා වෙරළට රැස් වූ භික්ෂූන්ගෙන් සැටනමක් “පරතෙර යාමෙන් අපට කම් නැත, අපි මෙහි ම වෙසෙමින් ත්‍රිපිටකධර්මය රැකගනිමු”යි කථා කරගෙන දකුණු මලය ජනපදයට ගොස් අල කොළ ආදියෙන් දිවි රකිමින් විසූහ. උන්වහන්සේලා ශරීරශක්තිය ඇති කල්හි වාඩිවී ත්‍රිපිටකය සජ්ඣායනා කළහ. වාඩිවී සිටීමට තරම් පණ නැති කල්හි කීපනම බැගින් එකතුව හිස් ළං ළංව සිටිනා පරිදි වැලිගොඩවලට හිස තබා නිදමින් ධර්මය මෙනෙහි කළෝ ය. ඒ ක්‍රමයෙන් උන් වහන්සේලා දෙළොස් වසක් මුළුල්ලෙහි අමතක වන්නට නො දී අටුවා සහිත පිටකත්‍රය රැක ගත්හ. පරතෙර ගිය සත්සියයක් භික්ෂූන් වහන්සේ ද එසේ ම අටුවා සහිත තෙවළාදහම ආරක්ෂා කරගෙන ලක්දිවට ගොඩ බැස කල්ලගාම ජනපදයෙහි මණ්ඩලාරාම විහාරයට වැඩම කළහ. ඒ බැව් ඇසූ ලක්දිව නැවතුණු භික්ෂූන් වහන්සේ සැටනම උන්වහන්සේලා දක්නට මණ්ඩලාරාම විහාරයට ගොස් දෙපක්ෂය එකතුව ත්‍රිපිටකධර්මය සජ්ඣායනය කරමින් පාඩම් ඇති සැටි සසඳා බැලූහ. එකපදයකු දු වෙනස් නොවී දෙපක්ෂය කෙරෙහි ම ත්‍රිපිටක ධර්මය සමව පැවැත්තේය.

ඒ රැස්වීමේදී තෙරුන් වහන්සේලා අතර “ශාසනයේ මුල පර්‍ය්‍යාප්තිය ද නැතහොත් ප්‍රතිපත්තිය ද? යන ප්‍රශ්නය ඇතිවිය. පාංශුකූලික ස්ථවිරවරු ප්‍රතිපත්තිය ශාසනයේ මූලය”යි කීහ. ධර්මකථිකයෝ “පර්‍ය්‍යාප්තිය ශාසනයේ මූලය”යි කීහ. සෙසු තෙරුන් වහන්සේලා “ඔබ වහන්සේලාගේ කීම්මාත්‍රය නො පිළිගත හැකිය. ජිනභාසිත සූත්‍ර දක්වා තමන් තමන්ගේ කීම් ඔප්පු කරන්නය”යි කීහ.

“ඉමෙ ච සුභද්ද භික්ඛු සම්මා විහාරෙය්‍යුං
අසුඤ්ඤො ලොකො අරහන්තෙහි”

යන පාඨය පාංශුකූලික ස්ථවිරවරු ගෙන හැර දැක්වූහ. එකල්හි ධර්මකථිකයෝ-

“යාව තිට්ඨන්ති සුත්තන්තා - විනයො යාව දිප්පති,
තාව දක්ඛින්ති ආලොකං - සුරියෙ අබ්භුට්ඨීතේ යථා.

.

සුත්තන්තෙසු අසන්තෙසු - පම්මුට්ඨෙ විනයම්භි ච
තමො භවිස්සති ලොකස්ස - සුරියෙ අත්ථංගතෙ යථා.

.

සුත්තන්තෙ රක්ඛිතෙ සන්තෙ - පටිපත්ති හොති රක්ඛිතා
පටිපත්තියං ඨීතො ධීරො - යොගක්ඛෙමා න ධංසතී”

යන මේ සූත්‍රය දැක්වූහ. එකල්හි පාංශුකූලිකයෝ තුෂ්ණිම්භූත වූහ. ධර්මකථිකයන්ගේ කීම ම මතු වී සිටියේ ය.

(මනෝරථපූරණී)

15. පච්චත්තං වේදිතබ්බ ගුණය

“පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි” යන ගුණපදයෙන් කියැවෙන්නේ මේ නවලෝකෝත්තර ධර්මය විඥයන් විසින් වෙන් වෙන් වශයෙන් ස්වසන්තානවලින් ම දත යුත්තක්ය, ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක්ය යනුයි. විඥයන් විසින් වෙන වෙනම තමතමන් තුළ උපදවා ගැනීමෙන් හා තමතමන් විසින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ද “අහෝ සැපය, අහෝ යහපත”යි කියමින් රස විඳිය හැකි ධර්මයක්ය යනු ද එහි එක් තේරුමකි. රූපාවචර අරූපාවචර ධ්‍යාන ධර්මයෝද ලෝකෝත්තර ධර්මයන් සේම විඥයන් විසින් වෙන වෙන ම තම තමන් තුළ උපදවා දතයුතු රස විඳිය යුතු ධර්මයෝය. ධ්‍යානධර්ම සහිත වූ නවලෝකෝත්තර ධර්මය අනුන්ගේ හිස පැළඳි - ගෙළ පැළඳි අබරණයන් මෙන්, පරසන්තානයෙන් දත හැක්කේ නොවේ. ධ්‍යානාදි ධර්මයෝ උසස් මනුෂ්‍යයන් විසින් පමණක් දත හැකි ධර්මයන් වන බැවින් උත්තරීමනුෂ්‍ය ධර්ම නම් වෙති. විඥයනට මිස දන්ධයනට ඒ ධර්ම ප්‍රත්‍යක්ෂ කර ගත හැකි නොවේ. ධ්‍යානාදි ධර්මයන් ලැබිය නො හෙන දන්ධයෝ (නුවණ නැතියෝ) අභව්‍ය පුද්ගලයෝ ය.

“පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි”යන මෙහි කියැවෙන විඥයෝ නම් ජාති ප්‍රඥාව හෙවත් උත්පත්තියෙන් පිහිටි නුවණ ඇත්තෝය. ඔවුහු “සෝමනස්ස සහගත ඤානසම්පයුක්ත අසංඛාරික චිත්තය, සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත සසංඛාරික චිත්තය, උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත අසංඛාරික චිත්තය, උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත සසංඛාරික චිත්තය” යන මහාවිපාක සිත් අතුරෙන් යම් කිසි සිතකින් භවයෙහි පිළිසිඳගත් ත්‍රිහේතුක පුද්ගලයෝ ය. ත්‍රිහේතුක පුද්ගලයන්ට උත්පත්තියෙන් පිහිටා ඇති නුවණ ඉතා තියුණුය. ඉතා උසස්ය. එබැවින් සියුම් සේ දේ ගැඹුරු දේ තේරුම් ගැනීමට ත්‍රිහේතුක පුද්ගලයෝ සමත් වෙති. කිසිම ශිල්ප ශාස්ත්‍රයක් නූගත් යටත් පිරිසෙයින් අකුරු පවා නූගත් ත්‍රිහේතුක පුද්ගලයා ධර්මය අසන්නට ලද හොත් චතුස්සත්‍යය තේරුම් ගෙන ප්‍රත්‍යක්ෂ කර ගෙන ලොවුතුරා මඟපල ලබා නිවන් දක්නට සමත් වේ. බුදුරදුන් ජීවමාන කාලයේ උන්වහන්සේගේ දෙසන දහම් අසා අකුරක් වත් උගෙන නොසිටි බොහෝ දෙනා ධර්මාවබෝධය ලැබූහ. ජාති ප්‍රඥාව නැති ද්විහේතුක පුද්ගලයන්ට ද ශිල්ප ශාස්ත්‍රෝද්ග්‍රහණයෙන් පණ්ඩිත විය හැකිය. ඔවුන් උගෙනීමෙන් ලබා ගන්නා ඒ පාණ්ඩිත්‍යය ධ්‍යානාදි ධර්ම ලැබීමට ප්‍රමාණවන නුවණක් නොවේ. ත්‍රිහේතුක පුද්ගලයන්ට වනාහි උගෙනීමෙන් ලබන නුවණ ද ධර්මාවබෝධයට තරමක් උපකාර වන බව කිය යුතුය. එහෙත් මිථ්‍යාධර්ම උගෙනීමෙන් ලබන පාණ්ඩිත්‍යය ත්‍රිහේතුක පුද්ගලයන්ට ද සමහර විට ධර්මාවබෝධයට බාධාවක් ද විය හැකිය.

වර්තමාන භවයෙහි මාර්ගඵල ලැබිය හැකි ජාති ප්‍රඥාව ඇති පුද්ගලයෝ ද ‘උද්ඝටිතඥ පුද්ගලයෝ ය, විපඤ්චිතඥ පුද්ගලයෝ ය, ඥෙයපුද්ගලයෝය’යි තුන් කොටසක් වෙති. සංක්ෂේපයෙන් දේශනය කළ දහමක් අසා එය තමාගේ නුවණින් විස්තර වශයෙන් තේරුම් ගෙන චතුස්සත්‍යයන් අවබෝධ කොට මගපල ලැබීමට සමත් පුද්ගලයෝ උද්ඝටිතඥයෝ ය.

“යෙ ධම්මා හෙතුප්පභවා
තෙසං හෙතුං තථාගතො ආහ,
තෙසඤ්ව යො නිරොධො
එවං වාදී මහාසමණො”

යන ගය අසා එනයින් නුවණ යවා සිව්සස් අවබෝධ කොට සෝවාන් ඵලයට පැමිණි කෝලිත - උපතිස්ස පිරිවැජියෝ දෙදෙනා උද්ඝටිතඥ පුද්ගලයෝය. තථාගතයන් වහන්සේ ඒ ඒ පුද්ගලයන්ට ධර්මාවබෝධ කරවනු පිණිස දානකථා, ශීලකථා, ස්වර්ගකථා, කාමයන්ගේ ආදීනව කථා, කාමයන්ගේ ලාමක බව පිළිබඳ කථා, සත්ත්වයන් කිලිටිවීම පිළිබඳ කථා, වදාරා අවසානයේ විස්තර වශයෙන් චතුස්සත්‍යයන් දේශනය කරන සේක. ඒ විස්තර වශයෙන් කරන දීර්ඝ ධර්ම කථා අසා බොහෝ දෙනා මඟපලවලට පැමිණෙති. ඔවුහු විපඤ්චිතඥ පුද්ගලයෝය. ධර්මය නැවත නැවත ඇසීමෙන් කළ්‍යාණ මිත්‍රයන් සේවනය කිරීමෙන් කල්‍යාණ මිත්‍රයන් හා සාකච්ඡා කිරීමෙන් නො වැටහෙන දෙය නැවත නැවත පිළිවිසීමෙන් නැවත නැවත කල්පනා කිරීමෙන් භාවනාවෙහි යෙදීමෙන් කලක් මහන්සී වී මඟපල ලබන්නෝ ඥෙයපුද්ගලයෝය. ඒ භවයේ දී කොතෙක් උත්සාහ කළද ධ්‍යාන මාර්ගඵල ලැබිය නො හෙන පුද්ගලයෝ පදපරම නම් වෙති. පදපරමයන් අතර ත්‍රිහේතුක පුද්ගලයෝ ද ඇත්තාහ. ද්විහේතුකාහේතුක පුද්ගලයෝ ද ඇත්තාහ. ඔවුන් ඒ ජාතියේ අසන ධර්මය, ඉගෙන ගත්තා ධර්මය කරන භාවනාව මතු ජාතියකදී ධර්මාවබෝධයට උපනිඃශ්‍රය වේ.

ධ්‍යානසමාපත්ති - ඵලසමාපත්ති - නිරෝධසමාපත්ති යන උත්තරීමනුෂ්‍ය ධර්මයෝ අතිප්‍රණීත සුඛයෙන් යුක්තයෝ ය. ඒවායේ ඇති උසස් රසය උසස් මිහිර ඒවා නොලැබූවෝ නො දනිති. සාමාන්‍ය ලෝකයා කම්සැපය උසස් කොට සලකන්නේ එයට වඩා මිහිරි සුවයක් ගැන ඔවුන් නොදන්නා බැවිනි. මිනිස්ලොව ඇති කාමසුඛය තබා ඉතා උසස් කොට වර්ණනා කරන දෙව්ලොව ඇති කාමසුඛය ද කාමතෘෂ්ණාව නමැති රෝගයට කරන ප්‍රතිකාරයක් පමණෙකි. එය නියම සුවයක් නො වේ. ශරීරයේ පැතිර ගිය කුෂ්ඨ රෝගයක් ඇතියකුට නියපොතුවලින් ශරීරය කැසීම, ගින්නෙන් රත් කිරීම සුවයක් සේ දැනේ. එවැනි රෝගයක් නැතියකුට ඒ කැසීම හා රත් කිරීම නපුරක් මිස සුවයක් නොවේ. කාමතෘෂ්ණාව යටපත් කොට යටත්පිරිසෙයින් ප්‍රථමධ්‍යානය මුත් ලබා සිටින්නා වූ තැනැත්තාට කාමසුඛය නපුරෙකි, රෝගයෙකි, ආබාධයෙකි, පිළිකුල් දෙයකි. ධ්‍යානලාභියාට කාමසුඛය අප්‍රිය දෙයක් වන්නේ එය නියම සුඛයක් නොවන බැවිනි. ප්‍රථමධ්‍යාන සුඛය සක්විති රජකුගේ භෝජනයට උපමා කරත හොත් උසස් ම කාමසුඛය උපමා කළ යුත්තේ ගවභෝජනය වන පිදුරු ගොඩකට ය. සක්විති රජකු පිදුරු කෑමට නො කැමති වන්නාක් මෙන් ධ්‍යානලාභියා කාමසුඛයට කැමති නො වේ. උසස් ලෙස කාමසම්පත් ලබා සිටි රජවරු, මහධනවත්හු ඒවා හැර පැවිදිව ධර්මසුඛය ලැබූ පසු “අහෝ සුඛං, අහෝ සුඛං”යි උදන් ඇණූ බව බෞද්ධග්‍රන්ථයන්හි සඳහන් වී ඇත්තේ ය. කොතෙක් සම්පත් ඇතියකුට වුව ද, කොතරම් උසස් කාමසම්පත් ඇතියකුට වුවද, අතරක් නැතිව වැඩි වේලාවක් කාමසුඛය විඳිමින් සම්පූර්ණයෙන් ම සුඛයෙන් යුක්තව නො විසිය හැකිය. කොතෙක් කාම සම්පත් ඇතියකු වුවද දවසෙන් වැඩි කාලයක් ගත කරන්නේ උපේක්ෂාවෙන් හෝ දුක් දොම්නස්වලින් යුක්තවය. ඔහුට සුවයෙන් විසිය හැකි කාලය මඳය. ධ්‍යානලාභියාට දවසක් මුළුල්ලේ වුවද ධ්‍යානයට සමවැදී ඒකාන්ත සුඛයෙන් යුක්තව විසිය හැකිය. දින දෙකක් වුවද තුනක් වුවද සතරක් වුවද පසක් වුවද සයක් වුවද සතක් වුවද ධ්‍යානයට සමවැදී අතරක් නැතිව සුඛයෙන් විසිය හැකිය. ඵලසමාපත්ති ලාභීන්ට ද එසේ ඵලසමාපත්ති සුඛයෙන් විසිය හැකිය. නිරෝධ සමාපත්ති සුඛයෙන් ද එසේ විසිය හැකිය. මේ මිනිස් ලොව තත්ත්වය ය. බ්‍රහ්මලෝකවල බ්‍රහ්මයන්ට වර්ෂ සිය ගණනක් මුළුල්ලේහි වුවද අතරක් නැතිව ධ්‍යාන සුඛයෙන් යුක්තව විසිය හැකිය. ධ්‍යානධර්මයන්හි හා නවලෝකෝත්තර ධර්මයන්හි ඇති මිහිර බඳු උසස් අන් මිහිරක් ලොව නැත්තේය. එබැවින් විඥයෝ කාමසම්පත් හැර ධ්‍යානාදි ධර්මයන් ස්වසන්තානයෙහි උපදවා දහම් රස විඳිති. දුක් කෙළවර කර ගනිති. නුවණැතියන්ට පර්‍ය්‍යාප්ති ධර්මයෙහි වුවද ඉමහත් රසයක් ඇත්තේය. ධර්මය තේරුම් ගැනීමට තරම් නුවණ නැති පුද්ගලයන්ට හා මිථ්‍යාදෘෂ්ටිගතුවන්ට පර්‍ය්‍යාප්ති ධර්මයේ රසය නො ලැබිය හැකිය. ධර්මය උගෙන රසය මතුවන තෙක් එය භාවිතා කළ හොත් ධර්මයේ අර්ථයන් නැවත නැවත විමසුවහොත් දහම් රසය විඳිය හැකි වනු ඇත.

මේ ධර්මය ස්වාඛ්‍යාත බැවින් තමතමන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකිය. එද එදාම ඵල ලැබිය හැකි බැවින් අකාලික ය. එව බලව යි සෙස්සන්ට දැක්වීමට සුදුසු ය. තම තමන්ගේ සිත්සතන්වලට පමුණුවා ගැනීමට සුදුසු ය. විඥයන්ට ස්වසන්තානයෙන් ම දැකිය හැකිය.

ධර්මගුණවර්ණනාව නිමියේ ය.

සංඝ රත්නය

සංඝ යනු සමූහය යන අර්ථය කියැවෙන වචනයෙකි. දේවසංඝ - බ්‍රහ්මසංඝ - ක්ෂත්‍රියසංඝ - තීර්ථක සංඝ යනාදීන් බොහෝ සමූහයෝ ලෙව්හි ඇත්තාහ. අනේක සමූහයන් අතුරෙන් සංඝරත්න යන නාමය ව්‍යවහාර කරනුයේ සංඝගුණපාඨයේ “භගවතා සාවකසංඝො” යනුවෙන් කියැවෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සමූහයාටය. ශ්‍රාවක යන වචනයේ තේරුම අසන තැනැත්තාය යනුයි. ලෝකයෙහි ඇසිය හැකි දෑ බොහෝ ය. කිනම් දෙයක් හෝ ඇසීමෙන් පුද්ගලයෙක් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත සුත්ත - ගෙය්‍ය - වෙය්‍යාකරණ - ගාථා - උදාන - ඉති - වුත්තක - ජාතක - අබ්භුතධම්ම - වේදල්ල යන මොවුන්ගේ වශයෙන් නව ප්‍රභේද වූ පර්‍ය්‍යාප්ති ධර්මය අසන්නා ම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වේ. අසන තැනැත්තා “ශ්‍රාවකය”යි කියන නුමුත් අසන සැම දෙනාම ශ්‍රාවකයෝ නො වෙති. තේරුමක් නැතිව අසන තිරශ්චීනාදීහු ද, තථාගත ධර්මය නො පිළිගන්නා මිත්‍යාදෘෂ්ටිකයෝ ද, සමහර විට ධර්මය අසති. එයින් ඔවුහු බුද්ධශ්‍රාවකයෝ නො වෙති. ඒ ධර්මය අසා ගෞරවයෙන් පිළිගෙන එය අනුව පිළිපැදීමට උත්සාහ කරන සත්පුරුෂයෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙති.

ඇසිය යුතු දෙය යන අර්ථයෙන් පර්‍ය්‍යාප්ති ධර්මය සුත නම් වේ. බොහෝ ධර්මයන් අසා ඇත්තේ බහුශ්‍රැත නම් වේ. මඳක් අසා ඇත්තේ අල්පශ්‍රැත නම් වේ. බහුශ්‍රැත වුවද ධර්මානුධර්මප්‍රතිපත්තිය නැත්තේ බුද්ධශ්‍රාවක නො වේ. එක දහම් පදයකුදු අසා පිළිපදින්නේ බුද්ධශ්‍රාවක වේ. ධර්මානුකූල ප්‍රතිපත්තියක් නැති අල්පශ්‍රැතයා ය, ධර්මානුකූල ප්‍රතිපත්තියක් ඇති අල්පශ්‍රැතයා ය යි අල්පශ්‍රැතයෝ දෙදෙනෙක් වෙති. බහුශ්‍රැතයෝ ද එසේ ම දෙදෙනෙක් වෙති.

“අප්පස්සුතො පි චෙ හොති - සීලෙසු අසමාහිතො,
උභයෙන නං ගරහන්ති - සීලතො ච සුතෙන ච”

“ඉදින් අල්පශ්‍රැත ද වේ නම්, ශීලයෙනුත් යුක්ත නො වේ නම්, ශීලයෙන් ද ශ්‍රැතයෙන් ද යන දෙකින් ම ඔහුට ගර්හා කෙරෙත්ය” යනු එහි තේරුමය. ඒ පුද්ගලයා බුද්ධශ්‍රාවක නො වේ.

“අප්පස්සුතො පි චෙ හොති - සීලෙසු සුසමාහිතො,
සීලතො නං පසංසන්ති - තස්ස සම්පජ්ජතෙ සුතං”

“ඉදින් අල්පශ්‍රැත වුව ද ශීලයෙන් යුක්ත වේ නම් ඔහුට ශීලය නිසා ප්‍රශංසා කෙරෙත්. ඔහුගේ ශ්‍රැතය සමෘද්ධ වේය” යනු එහි තේරුමය. මඳ වූ ද ශ්‍රැතය සමෘද්ධ වන බැවින් ඔහු බුද්ධ ශ්‍රාවකයෙක් වේ.

“බහුස්සුතො පි චෙ හොති - සීලෙසු අසමාහිතො,
සීලතො නං ගරහන්ති - නාස්ස සම්පජ්ජතෙ සුතං”

“ඉදින් බහුශ්‍රැත වූයේ ද සිල් නැත්තේ නම් එහුට ශීලය නැති නිසා ගර්හා කෙරෙත්. ඔහුගේ ශ්‍රැතය සමෘද්ධ නොවේය” යනු එහි තේරුමය. ශ්‍රැතය සමෘද්ධ නොවන බැවින් බහුශ්‍රැත වූ ද ඒ පුද්ගලයා බුද්ධශ්‍රාවක සංඛ්‍යාවට නො ගැනේ.

“බහුස්සුතො පි ච හොති - සීලෙසු සුසමාහිතො,
උභයෙන නං පසංසන්ති - සීලතො ච සුතෙන ච”

“ඉදින් බහුශ්‍රැත ද වේ නම්, ශීලයෙන් ද යුක්ත වේ නම් ඔහුට ශීලය ශ්‍රැතය යන දෙකින්ම පසසත්ය” යනු එහි තේරුමය. එබඳු පුද්ගලයා විශේෂයෙන් පැසසිය යුතු බුද්ධශ්‍රාවකයෙක් වේ.

බුදුරදුන්ගේ ධර්මය අසා එය ගෞරවයෙන් පිළිගෙන එය අනුව පිළිපදින පිළිපැදීමට උත්සාහ කරන බුද්ධශ්‍රාවකයෝ මනුෂ්‍ය - දේව - බ්‍රහ්ම වශයෙන් තුන් කොටසක් වෙති. ගෘහස්ත - ප්‍රව්‍රජිත වශයෙන් දෙකොටසක් වෙති. පෘතග්ජන - ආර්‍ය්‍ය වශයෙන් දෙකොටසක් වෙති. උපසම්පන්න - අනුපසම්පන්න වශයෙන් දෙකොටසක් වෙති. සංඝගුණ පාඨයෙහි “යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො” යනුවෙන් “යුග්ම වශයෙන් සතරක් වන, පුද්ගලයන් වශයෙන් අට දෙනෙකුන් වන මේ පිරිස, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාය”යි වදාරා තිබේ. විශුද්ධිමාර්ගයෙහි අෂ්ටපුරිස පුද්ගලයන් දක්වා තිබෙන්නේ “පුරිසපුග්ගලවසෙන එකො පඨමමග්ගට්ඨො එකො ඵලට්ඨොති ඉමිනා නයෙන අට්ඨෙව පුරිසපුග්ගලා හොන්ති” යනුවෙන් ප්‍රථම මාර්ගස්ථ පුද්ගලයාය, ප්‍රථම ඵලස්ථ පුද්ගලයාය, ද්විතීය මාර්ගස්ථ පුද්ගලයාය, ද්විතීය ඵලස්ථ පුද්ගලයාය, තෘතීය මාර්ගස්ථ පුද්ගලයාය, තෘතීය ඵලස්ථ පුද්ගලයාය, චතුර්ථමාර්ගස්ථ පුද්ගලයාය, චතුර්ථ ඵලස්ත පුද්ගලයාය කියා ය. කල්‍යාණ පෘථග්ජන භික්ෂුව එහි සඳහන් කර නැත. තථාගතයන් වහන්සේ විසින් දේශිත සූත්‍රධර්මයන්හි සංඝරත්නයට අයත් පුද්ගල විභාගය වදාරා ඇත්තේ අන් ක්‍රමයකට ය. මෙහි එක් සූත්‍ර දේශනාවක් දක්වනු ලැබේ.

අට්ඨීමෙ පුද්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක්ඛිණෙය්‍යා අඤ්ජලිකරණියා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ අට්ඨ? සොතාපන්නො, සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො, සකදාගාමි, සකදාගාමි ඵලසච්ඡිකිරියාය පටිපන්නෝ, අනාගාමි, අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අරහා, අරහත්තාය පටිපන්නො, ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨපුග්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක්ඛිණෙය්‍යා අඤ්ජලිකරණියා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා ති.

චත්තාරො ච පටිපන්නා
චත්තාරො ච ඵලෙ ඨිතා
එස සංඝො උජභූතො
පඤ්ඤා සීල සමාහිතො,

යජමානානං මනුස්සානං
පුඤ්ඤපෙක්ඛාන පාණිනං
කාරොතං ඔපධිකං පුඤ්ඤං
සංඝෙ දින්නං මහප්ඵලං.

(අංගුත්තර අට්ඨකනිපාත)

මේ සූත්‍රයේ හැටියට සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලයට පැමිණීම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාද, සකෘදාගාමී පුද්ගලයාය, සකෘදාගාමීඵලයට පැමිණීම සඳහා පිළිවෙත් පුරන පුද්ගලයාය, අනාගාමී පුද්ගලයාය, අනාගාමී ඵලයට පැමිණීම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාය, අර්හත් පුද්ගලයාය, අර්හත්ඵලයට පැමිණීම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාය යන මේ පුද්ගලයෝ අටදෙන සංඝරත්නයට අයත් පුද්ගලයන් අටදෙනාය. මේ පුද්ගලයන් අටදෙනා දක්ෂිණාවිභංග සූත්‍රයෙහි ද වදාරා ඇත්තේය. එහි අටුවාවෙහි “හෙට්ඨිම කොටියා තිසරණගතො උපාසකො පි සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො නාම හොති” යනාදීන් තිසරණගත උපසකයාගේ පටන් සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා දක්වා ඇති ඒ ඒ තරාතිරම්වල පුද්ගලයන් සැමදෙනා ම සෝවාන් මාර්ගය පිණිස පිළිවෙත් පුරන පුද්ගලයන් බව දක්වා තිබේ. එය අනුව අෂ්ට පුරුෂ පුද්ගලයන්ට සෝවාන් මාර්ගය පිළිපදින කල්‍යාණපෘථග්ජන භික්ෂූන් ද අයත් බව කිව යුතුය. අෂ්ටපුරුෂ පුද්ගලයන් අතර උපසම්පන්නයෝ ද, අනුසම්පන්නයෝ ද වෙති. බුදුරදුන් ජීවමාන කාලයේ හා එයට සමීප කාලයේ ද මඟපල ලබා ආර්‍ය්‍යශ්‍රාවකත්වයට පැමිණ සිටි ගිහියෝ බොහෝ වූහ. මිනිස්ලොව කෙසේ වුව ද දිව්‍යලෝක බ්‍රහ්මලෝකවල මඟපල ලබා ඇති බොහෝ දේව බ්‍රහ්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ දැනුදු අත්තාහ. ඔවුහු ආර්‍ය්‍යශ්‍රාවකයින් වුව ද තථාගතයන් වහන්සේගේ ආඥාචක්‍රය සම්පූර්ණයෙන් පිළිගත්තාහු නො වෙති. එබැවින් මඟපල ලබා ඇත්තාවූ ද ඔවුහු සංඝරත්නයට අයත් නො වෙති. තථාගතයන් වහන්සේගේ ආඥාචක්‍රය සම්පූර්ණයෙන් පිළිගන්නෝ උපසම්පන්න භික්ෂූහුය. එබැවින් ආර්‍ය්‍ය වූ ද, පෘථග්ජන වූ ද, උපසම්පන්නයෝ ම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට අයත් වෙති. අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා යි ත්‍රිශික්ෂාවක් ඇත්තේය. ගිහි පැවිදි කාහටත් ඇත්තේ එක ම අධිචිත්ත ශික්ෂාවෙකි. එකම අධිප්‍රඥා ශික්ෂාවකි. ඒ ශික්ෂා දෙකින් උපසම්පන්න අනුපසම්පන්නයන්ගේ වෙනසක් නැත්තේය. අධිශීල ශික්ෂාවෙන් උපසම්පන්න අනුපසම්පන්නයන්ගේ විශාල වෙනසක් ඇත්තේය. සෝවාන් වූ ද ගිහියාගේ නිත්‍යශීලය පඤ්චශීලය ය. උපසම්පන්න භික්ෂුවගේ ශීලය ඉතා විශාල ශීලයෙකි.

“නවකොටිසහස්සානි - අසීතිං සතකොටියො,
පඤ්ඤාසං සතසහස්සානි - ඡත්තිංසා ච පුනාපරෙ.

එතෙ සංවරවිනයා - සම්බුද්ධෙන පකාසිතා,
පෙය්‍යාලමුඛෙන නිද්දිට්ඨා - සික්ඛා විනයසංවරෙ”

(විසුද්ධිමග්ග)

යනුවෙන් දැක්වෙන “නවදහස් එකසිය අසූකෝටි පන්ලක්ෂ සතිස් දහස් ශික්ෂා ඇති මහා ශීලය උපසම්පන්න භික්ෂූන්ගේ ශීලය ය. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ සියලු ම භික්ෂූන්ට ඇත්තේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීල සංඛ්‍යාත එක ම ශීලයෙකි. එකම දෘෂ්ටියකි. “දිට්ඨිසීල සාමඤ්ඤෙන සංඝටිතොති සංඝො” යන වචනාර්ථය පරිදි ඒ භික්ෂු පිරිස ශරීරවලින් ඔවුනොවුන් කොතෙක් දුරිනු සිටිය ද, ශීල - දෘෂ්ටි දෙකින් ඔවුනොවුන් ගැටී ඇති බැවින් සම්බන්ධ වී ඇති බැවින් සංඝ නම් වේ. සර්වඥයන් වහන්සේගේ ආඥාව පරිදි පැවිද්ද ලබා බුද්ධ පුත්‍ර භාවයට පැමිණ සිටින සාමණේරයෝ විනයකර්මවලට සුදුසු වන පරිදි සංඝරත්නයට අයත් නො වතුදු දක්ෂිණාර්හ භාවයෙන් සංඝරත්නයට අයත් වෙති. එබැවින් ඔවුනට ද සඟසතු විහාරාරාම පරිභෝග කිරීමේ අයිතිය ඇත්තේය. ඔවුහු සංඝලාභ බෙදීමේදී කොටස ලැබීමට සුදුස්සෝ ද වෙති. සංඝයාට ලැබී ඇති සිවුරු බෙදීමේදී සාමණේරයන් ගැන පිළිපැදිය යුතු ආකාරය තථාගතයන් වහන්සේගෙන් විචාළ කල්හි “අනුජානාමි භික්ඛවෙ, සාමණෙරානං උපඩ්ඪ පටිවිංසං දාතුං” යනුවෙන් භික්ෂූන්ට ලැබෙන කොටසින් බාගයක් සාමණේරයන් ට දීමට තථාගතයන් වහන්සේ අනුදැන වදාළහ. වතින් සම්පූර්ණ සාමණේරයන්ට සම්පූර්ණ කොටස ම දියයුතු බව විනය අටුවාවෙහි කියා තිබේ. ශ්‍රමණ දුශ්ශීලයා ද, ශ්‍රමණ වේෂය දරමින් භික්ෂුවකැයි ප්‍රතිඥා කරමින් සිටිනාතාක් භික්ෂුවක් ලෙස සැලකිය යුතු බව ද “සංඝ සමය සමනුපවිට්ඨතොපි දක්ඛිණං විසොධෙති” යනුවෙන් ශ්‍රමණ දුශ්ශීලයා ද සංඝසමයට අයත් වන බව ද මිළින්දපඤ්හයෙහි කියා තිබේ. මෙසේ බලන කල්හි බුදු සස්නෙහි පැවිද්ද ලබා ඇති හැම දෙනා ම සංඝරත්නයට අයත් වන බව කිය යුතුය. සරණ සමාදානයෙහිදී හා වස්තූන් සඟසතු කිරීමේදි සංඝයා ලෙස සැලකෙන්නේ ඒ අපරිච්ඡින්නක පුද්ගල සමූහය ය. විනයකර්මවලදී එක් තැනකට රැස් වූ උපසම්පන්න භික්ෂු පිරිසක් සංඝයා ලෙස සලකනු ලැබේ. චතුර්වර්ග සංඝයා ය, පඤ්චවර්ග සංඝයා ය, දශවර්ග සංඝයා ය, විංශතිවර්ග සංඝයා ය, අතිරේක විංශතිවර්ග සංඝයා යයි විනය ක්‍රමයෙන් සංඝයා පස් කොටසක් වශයෙන් කියනු ලැබේ.

“චතුවග්ගො පඤ්චවග්ගො - දසවීසති වග්ගිකො,
අතිරෙකවීසති වග්ගො - පඤ්ච සංඝා විභාවිතා

(ඛුද්දසික්ඛා)

ශාසනය පවත්නා කාලය.

විනයපිටකයේ චූලවග්ගපාළියේ භික්ඛුනීඛන්ධකයේ හා අංගුත්තර නිකායේ ද දක්නා ලැබෙන පාඨයක් දක්වමින් ඇතැම්හු “මෙකල බුදු සස්නක් නැත, භික්ෂූන් නැත, දැනට සිටින භික්ෂූහූ භික්ෂු ප්‍රතිරූපකයන් මිස නියම භික්ෂූහූ නො වෙති ය, දැන් නියම සංඝරත්නය නැතය”යි පවසති. ඔවුන් ගෙනහැර දක්වන පාඨය මෙසේය.

“සචෙ ආනන්ද නලභිස්සා මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, චිරට්ඨිතිකං ආනන්ද බ්‍රහ්මචරියං අභවිස්ස වස්සසහස්සං සද්ධම්මො තිට්ඨෙය්‍ය, යථො පි ඛො ආනන්ද මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො න දානි ආනන්ද බ්‍රහ්මචරියං චිරට්ඨිතිකං භවිස්සති, පඤ්චෙවදානි ආනන්ද වස්සසතානි සද්ධම්මො ඨස්සති.

සෙය්‍යථාපි ආනන්ද - පෙ - සෙය්‍යථාපි ආනන්ද පුරිසො මහතො තළාකස්ස පටිගච්චේව ආළිං බන්ධෙය්‍ය යාවදෙව උදකස්ස අනතික්කමනාය. එවමෙව ඛො ආනන්ද මයා පටිගච්චේව භික්ඛුනීනං අට්ඨගරුධම්මා පඤ්ඤත්තා යාවජීවං අනතික්කමනීයාති.”

මේ පාඨයේ කෙටි අදහස “වර්ෂ දහසක් පවත්නා සද්ධර්මය මාගමුන් බුදුසස්නෙහි පැවිදිවීම නිසා වර්ෂ පන්සියයක්පමණක් පවත්නක් වන්නේය. එසේ නොවී සද්ධර්මය වර්ෂ දහසක් ම පවතිනු පිණිස කලින් ම තථාගතයන් වහන්සේ විසින් භික්ෂුනීන්ට අෂ්ටගරු ධර්මය පනවන ලද්දේය” යනුයි.

පර්‍ය්‍යාප්ති සද්ධර්මය, ප්‍රතිපත්ති සද්ධර්මය, ප්‍රතිවේධ සද්ධර්මය යි සද්ධර්ම තුනක් ඇත්තේ ය. ඉහත දැක් වූ සූත්‍රයෙහි වර්ෂ දහසක් පවත්නේය යි වදාරා තිබෙන්නේ සද්ධර්ම තුනෙන් ප්‍රතිවේධ සද්ධර්මය යයි අටුවාවල කියා ඇත්තේ ය. “වස්සසහස්සං සද්ධම්මො තිට්ඨෙය්‍ය” යන පාඨයෙන් දැක්වෙන්නේ වර්ෂ දහසක් අංගසම්පූර්ණ ප්‍රතිවේධය පවත්නා බවත් ඉන් පසු ක්‍රමයෙන් පිරිහී යන බවත් මිස දැල්වෙමින් තිබෙන පහනක් සැණෙකින් නිවී යන්නාක් මෙන් වර්ෂ දහස පිරෙනු සමඟම ප්‍රතිවේධය සම්පූර්ණයෙන් අතුරුදහන් වීමක් නො වන බව ය.

“වස්සසහස්ස’න්ති චෙතං පටිසම්භිදාපභේදප්පත්ත ඛීණාසවානං වසෙනෙව වුත්තං, තතො පන උත්තරිම්’පි සුක්ඛවිපස්සක ඛීණාසව වසෙන වස්සසහස්සං, අනාගාමිවසෙන වස්සසහස්සං, සකදාගාමීවසෙන වස්සසහස්සං, සොතාපන්න වසෙන වස්සසහස්සන්ති එවං පඤ්චවස්ස සහස්සානි පටිවේධ සද්ධම්මො ඨස්සති.

(මනෝරථපූරණී)

මේ මනෝරථපූරණී අටුවා පාඨයෙන් පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂදහසක් ද, ශුෂ්කවිදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, අනාගාමීන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, සකෘදාගාමීන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද මෙසේ පන්දහසක් අවුරුදු ප්‍රතිවේධ ධර්මය පවත්නා බව දැක්වේ. පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ෂඩභිඥා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ත්‍රිවිද්‍යා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ශුෂ්කවිදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, පෘථග්ජන භික්ෂූන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, බුදු සසුන පවත්නා බව සම්පසාදනීය සූත්‍ර අටුවාවෙහි කියා තිබේ. දැනට පවත්නේ බුදු සසුනේ තුන්වන වර්ෂ දහසය. මේ කාලය මනෝරථපූරණියෙහි කියන අන්දමට අනාගාමීන් සිටිය හැකි කාලයයි. දීඝනිකායට්ඨ කථාවෙහි දැක්වෙන අන්දමට ත්‍රිවිද්‍යාව ඇති රහතුන් සිටිය හැකි කාලයයි.

පිටකත්‍රය සංඛ්‍යාත පර්‍ය්‍යාප්ති සද්ධර්මය ලෙහෙසියෙන් සුළු කලකින් නැතිවිය හැකියක් නොවේ. ටික තැනක ටික දෙනෙක් අත පමණක් පවත්නා දේවල් ලෙහෙසියෙන් නැති වී යා හැකිය. පර්‍ය්‍යාප්ති සද්ධර්මය බොහෝ ගම්වල බොහෝ නගරවල බොහෝ පෙදෙස්වල බොහෝ රට වල බොහෝ භික්ෂූන් අතර පැතිර පවතින්නකි. එය එක විහාරයක නැති වුව ද තවත් දහස් ගණනක් විහාරවල පවති. එක ගමක එක රටක නැති වුව ද තවත් බොහෝ ගම් රටවල පවති. එබැවින් එය ලෙහෙසියෙන් නැති කළ නො හැකිය. එය කලින් කලට පැතිර පවත්නා ප්‍රදේශ අඩු වැඩි වෙමින්, දීර්ඝ කාලයක් පවතිනු ඇත. වර්ෂ පන්දහසකින් තබා දසදහසකිනුදු එය නැතිවෙතැයි නො සිතිය හැකි ය.

සද්ධර්මයේ මූලය පර්යාප්තියය. බෙහෙත් වට්ටෝරුව පවත්නා තුරු වුවමනා අයෙකුට බෙහෙත් සාදාගත හැකි බැවින් බෙහෙත් නැති වූයේ නොවේ. බෙහෙත් නැති වූයේය යි කිය යුත්තේ බෙහෙත් වට්ටෝරුව නැති වුව හොත්ය. එමෙන් ප්‍රතිපත්ති ප්‍රතිවේදයන් ඇති කර ගන්නා ක්‍රමය දක්වන පර්යාප්ති සද්ධර්මය පවත්නා තුරු ප්‍රතිපත්ති - ප්‍රතිවේධ දෙක අතුරුදහන් වී යයි නො කිය හැකිය. වුවමනා කෙනෙකුට පර්‍ය්‍යාප්තිය අනුව ප්‍රතිපත්තිය හා ප්‍රතිවේධය ඇති කර ගත හැකිය. භික්ෂු පරම්පරාව සිඳී ගියහොත් මහණ කම හා උපසම්පදාව පමණක් නැවත ඇති කළ නො හැකිය.

සංඝරත්නය නොයෙක් රටවල පැතිර සිටින විශාල පිරිසකි. එක් පෙදෙසක එක් රටක භික්ෂූන් නැතිවී ගිය ද තවත් බොහෝ ප්‍රදේශ වල භික්ෂූහු වෙසෙති. එබැවින් බුදුරදුන් දිවමන් කල පටන් මේ වන තුරු භික්ෂු පරම්පරාව පැවත අවුත් තිබේ. බුදුරජාණන් වහන්සේගේ අදහස ලෝකයෙහි සද්ධර්මය හෙවත් ත්‍රිවිධ ශාසනය ඉදිරියට බොහෝ කලක් පැවැත්වීමය. එබැවින් උන්වහන්සේ විසින් සද්ධර්මය ඉදිරියට පවත්වා ගැනීමට උපදෙස් දීම් වශයෙන් සද්ධර්මයාගේ චිරස්ථිතියට හා පරිහානියට හේතු දක්වන සූත්‍ර බෙහෝ ගණනක් වදාරා ඇත්තේය. මාගේ මේ විනය ධර්මය මෙපමණ වර්ෂ ගණනකටය, ඉන් ඉදිරියට මේ ධර්මය හා විනය අවලංගුය කියා තථාගතයන් වහන්සේ විසින් ආඥාවන් පිහිටුවා නැත. භික්ෂූහු යම් තාක් කල් තථාගතයන් වහන්සේගේ විනය අනුව කුලපුත්‍රයන් පැවිදි කෙරෙත් නම් උපසම්පදා කෙරෙත් නම් එතෙක් සංඝරත්නය පවත්නේය. බුද්ධ කාලයේ පටන් අද දක්වා ම භික්ෂූන් විසින් එදා පැවති විනය අනුවම කුලපුත්‍රයන් පැවිදි උපසම්පදා කර ගෙන අවුත් ඇති බැවින් අද වාසය කරන භික්ෂූන් නියම භික්ෂූන් නො වීමට, අද සංඝයා නියම සංඝයා නොවීමට කිසිදු හේතුවක් නැත. එදා බුදුරදුන් හා විසූ සැරියුත් මුගලන් ආදි මහරහතන් වහන්සේ හා අද සිටින භික්ෂූන් වහන්සේ ද එක ම පිරිසකි. එදා විසූ රහතන් වහන්සේලා හා අද සිටින පෘථග්ජන භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ එක ම ශ්‍රාවක සංඝරත්නය ය.

බොහෝ දහම් පොත් දක්නට ඇති බැවින්, ධර්මධරයන් දක්නට ඇති බැවින්, ධර්මදේශනා අසන්නට ඇති බැවින් මෙකල පර්‍ය්‍යාප්ති සද්ධර්මය ඇති නැති බව ගැන සැක කරන්නට කරුණක් නැත. ධර්මය අනුව පිළිවෙත් පුරන බොහෝ ගිහි පැවිද්දන් දක්නට ඇති බැවින් මෙකල ප්‍රතිපත්ති සද්ධර්මය ඇත ද? නැත ද? කියා සැක කරන්නට කරුණක් නැත. “ඉමෙ ච සුභද්ද භික්ඛු සම්මා විහාරෙය්‍යුං න සුඤ්ඤො ලොකො අරහන්තෙහි අස්ස”යි “සුභද්දය, මේ භික්ෂූහු මැනවින් වෙසේ නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය”යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ධර්ම දෙක පවත්නා කල්හි ප්‍රතිවේධය නැතය යි ද නො කිය හැකිය. ප්‍රතිවේධය නො පෙනෙන දෙයක් බැවින් එහි ඇති නැති බව කවදාටත් තේරුම් ගැනීම අපහසුය. වර්ෂ දහසකින් ශාසනය කෙළවර වේ නම් තථාගතයන් වහන්සේට “ඉමෙ ච සුභද්ද භික්ඛු සම්මා විහාරෙය්‍යුං න සුඤ්ඤො ලොකො අරහන්තෙහි අස්ස” යනු වදාරන්නට කරුණක් නැත.

සංඝරත්නයේ ගුණ

සුපටිපන්නො භගවතො සාවකසංඝො, උජුපටිපන්නො භගවතො සාවකසංඝො, ඤායපටිපන්නො භගවතො සාවකසංඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එසභගවතො සාවකසංඝො ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.

මේ සංඝගුණ පාඨය ය. එයින් කියැවෙන ගුණ නවයක් ඇත්තේ ය. ඒ මෙසේ ය,

1. සුපටිපටිපන්නො භගවතො සාවකසංඝො,

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපත්තියක් ඇති සේක.

2. උජුපටිපන්නො භගවතො සාවකසංඝො,

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛයාත ඍජු ප්‍රතිපත්තියෙහි යෙදෙන සේක.

3. ඤායපටිපන්නො භගවතො සාවකසංඝො,

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛයාත නිවනට හේතු වන ප්‍රතිපත්තියෙහි පිලිපන් සේක.

4. සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො,

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛයාත ගරු කිරීමට සුදුසු ප්‍රතිපත්තියෙහි යෙදෙන සේක.

5. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො ආහුණෙය්‍යො,

යම් ඒ පුරුෂයුග්ම සතරක් වේ ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ඉතා දුර සිට වුවද ගෙනැවිත් දෙන සිවුපසය පිළිගැනීමට සුදුසු වන සේක.

6. පාහුනෙය්‍යො,

දුරසිට පැමිණෙන ප්‍රිය මනාප ඥාති මිත්‍රයන් උදෙසා පිළියෙල කළ දෙය වුවද පිළිගැනීමට සුදුසු වන සේක.

7. දක්ඛිණෙය්‍යො,

සැදැහැවතුන් විසින් පරලොව සැප පතා දෙන දානය පිළිගැනීමට සුදුසු වන සේක.

8. අඤ්ජලි කරණීයො,

සකල ලෝකයා විසින් ම දොහොත් හිස මත තබා කරන නමස්කාරය පිළිගැනීමට සුදුසු වන සේක.

9. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.

ලෝකයා හට උතුම් පින් කෙතක් වන සේක.

16. සුපටිපන්න ගුණය

නිවනට පමුණුවන සුන්දර ප්‍රතිපත්තියක් පුරන බව සුපටිපන්න ගුණය ය. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ කල්‍යාණපෘථග්ජන භික්ෂූන් හා ශෛක්ෂයෝ සුන්දර ප්‍රතිපත්තිය පුරමින් සිටින බැවින් සුපටිපන්න නම් වේ. රහත්හු ඒ ප්‍රතිපත්තිය පුරා අවසන් කොට සිටින බැවින් සුපටිපන්න නම් වෙති.

මේ මේ දෙය කරමිය, මේ මේ දෙය නොකරමිය යි අධිෂ්ඨාන කර ගැනීම් වශයෙන් හෝ සමාදම් වීමෙන් හෝ ප්‍රකෘති චාරිත්‍ර වශයෙන් හෝ පවත්වන ක්‍රියා විශේෂයෝ ප්‍රතිපත්ති නම් වෙති. ප්‍රතිපත්ති වලින් ඇතැමෙක් නිෂ්ඵල ප්‍රතිපත්තීහුය. ඇතැමෙක් අපායට පමුණුවන ප්‍රතිපත්තීහුය. ඇතැමෙක් සුගතියට හා නිවනට පමුණුවන ප්‍රතිපත්තීහුය. සුගතියට හා නිවනට පමුණුවන ප්‍රතිපත්තීහු සම්‍යක් ප්‍රතිපත්ති නම් වෙති. අපායට පමුණුවන ප්‍රතිපත්තීහු මිත්‍යා ප්‍රතිපත්ති නම් වෙති.

ප්‍රතිපත්තීන් අතර පිරීම ඉතා දුෂ්කර වූ දුකින් පිරිය යුතු වූ දුක් සහිත වූ රූක්ෂ ප්‍රතිපත්ති ද ඇත්තේය. පිරීම පහසු සුවසේ පිරිය හැකි ප්‍රතිපත්ති ද ඇත්තේ ය. ධර්මය නො දන්නෝ පිරීමට දුෂ්කර රූක්ෂ ප්‍රතිපත්තීන් උසස් ප්‍රතිපත්ති ලෙස ද, එබඳු ප්‍රතිපත්ති පුරන පුද්ගලයන් උසස් පුද්ගලයන් ලෙස ද, රහතුන් ලෙස ද සලකති. රූක්ෂ වූ පමණින් ප්‍රතිපත්තිය සම්‍යක්ප්‍රතිපත්තියක් නොවේ. ඇතැම් රූක්ෂ ප්‍රතිපත්තීහු, පුරන්නවුන් මරණින් මතු අපායට පමුණුවන මිථ්‍යා ප්‍රතිපත්තීහුය. තීර්ථකයන් විසින් පුරන මෙලොව දුක් විඳ මරණින් මතු අපායෝත්පත්තියට ද හේතුවන මිථ්‍යාප්‍රතිපත්තීන් චූලධම්ම සමාදාන සූත්‍රයෙහි මෙසේ වදාරා ඇත්තේය.

“කතමඤ්ව භික්ඛවේ ධම්මසමාදානං පච්චුප්පන්න දුක්ඛඤ්චෙ ව ආයතිඤ්ච දුක්ඛ විපාකං? ඉධ භික්ඛවේ එකච්චො අචෙලකො හොති මුත්තාචාරෝ හත්ථාවලෙඛනො. න එහි භදන්තිකො න තිට්ඨභදන්තිකො, න උද්දිස්සකටං න නිමන්තණං සාදියති. සො න කුම්භිමුඛා පතිගණ්හාති, න ඛලොපිමුඛා පතිගණ්හාති, න එළකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං න ද්වින්නං භුඤ්ජමානානං, න ගබ්භිනියා න පායමානාය න පුරිසන්තරගතාය න සංකිත්තීසු. න යත්ථ සා උපට්ඨිතා හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිණී, න මච්ඡං න මංසං න සුරං න මෙරයං න ථුසොදකං පිබති-පෙ-ඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොග මනුයුත්තො විහරති, සො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. ඉදං චුච්චති භික්ඛවේ, ධම්මසමාදානං පච්චුප්පන්න දුක්ඛඤ්චෙව ආයතිඤ්ච දුක්ඛවිපාකං”

ඇතැම් තීර්ථකයෝ වස්ත්‍ර පරිභෝගයෙන් ද ලෝභය ඇති වෙතැයි වස්ත්‍ර නො හැඳ උපන් හැටියට ම වෙසෙති. එය ඔවුන්ගේ එක් ප්‍රතිපත්තියකි. මනුෂ්‍ය චාරිත්‍ර හැර සිටගෙන ම මලමුත්‍ර පහ කෙරෙති. සිට ගෙනම ආහාර අනුභව කරති. භාජන පාවිච්චි නොකට අතටම ගෙන ආහාර වළඳති. ජලයත් සත්ත්වයනැයි වරදවා ගෙන අත සේදීමට දිය පාවිච්චි නොකරති. ලෙවකෑමෙන් අත් පිරිසිදු කරති. කෝටු කැබලිවලට ද පණ ඇතැයි පිළිගෙන ඒවා ශරීරය පිරිසිදු කිරීමට පාවිච්චි නො කරති. පිණ්ඩපාතය දීම සඳහා එන්නයයි ආරාධනා කළ හොත් නොයති. යන කල්හි, දීම සඳහා සිටින්නය යි කියුව හොත් නො සිටිති. ඔවුහු අනුන් කියන දෙය කිරීමත් වරදකැයි සලකති. තමන් උදෙසා පිළියෙල කළ ආහාරය නො පිළිගනිති. බත් ගන්නා කල්හි සැන්ද වැදීම සැළියට පීඩාවකැයි සැළියකින් ගෙන දෙන ආහාරය නොපිළිගනිති. එසේම පැසකින් ගෙන දෙන ආහාරය ද නොපිළිගනිති. එළිපත්තක් අතුරෙහි සිටින සේ දෙන දෙය නො පිළිගනිති. මෝල් ගසක් මැදි කොට දෙන දෙය නො පිළිගනිති. දඬුකඳක් මැදි කොට දෙන දෙය නො පිළිගනිති. වළඳමින් ඉන්නා දෙදෙනකුගෙන් එකකු නැගිට දෙන දෙය නො පිළිගනිති. ගැබිණියන් විසින් දෙන දෙය නොපිළිගනිති. කිරි පොවමින් සිටි මවක දෙන දෙය නොපිළිගනිති. පුරුෂයකු හා වෙසෙන ස්ත්‍රියක දෙන දෙය නොපිළිගනිති. අනුන්ගේ සහල් එකතු කොට පිසූ බත නොපිළිගනිති. සුනඛයෙකු බලා සිටින තැනින් නොපිළිගනිති. මැස්සන් ඇති තැනින් නොපිළිගනිති. මස් මාළු නොපිළිගනිති. සුරාමේරය පානය නොකරති. ධාන්‍යයෙන් කළ ථුසෝදක නම් කාඩි විශේෂය පානය නොකරති. පිඬු සිඟා ගිය විට එක් ගෙයකින් ලද දෙයින්ම ද යැපෙති. එක් බත් පිඬකින් ම හෝ යැපෙති. ගෙවල් දෙකකින් ලද දෙයින් හෝ යැපෙති. බත් පිඬු දෙකකින්ම හෝ යැපෙති. ගෙවල් සතකින් ලැබෙන දෙයින් ම හෝ යැපෙති. බත් පිඬු සතකින් ම හෝ යැපෙති. දිනක් හැර දිනක් හෝ අහර ගනිති. දෙ දිනක් හැර හෝ අහර ගනිති. තෙදිනක් හෝ සිවුදිනක් පස්දිනක් සදිනක්, සත්දිනක් හැර හෝ අහර වළඳති. අඩමසකට වරක් හෝ ආහාර වළදිති. නො පිසූ පලා පමණක් හෝ වළදිති. තණ සහලෙන් පිසූ බත පමණක් හෝ වළඳති. වනයෙහි ඉබේ හටගත් ධාන්‍ය පමණක් හෝ වළඳති. සම්කරුවන් විසින් ඉවත් කරන සම්කසට හෝ අනුභව කරති. සෙවෙල් අනුභව කරති. කුඩු අනුභව කරති. අන්‍යයන් ඉවත ලන බත් දන්කුඩ හෝ අනුභව කෙරෙති. තණ හෝ ගොම හෝ අනුභව කෙරෙති. වනමුල් පල හෝ අහර කොට ගනිති. ගස් වලින් වැටෙන ඵල පමණක් හෝ වළඳති.

ඇතැම් තීර්ථකයෝ වටිනා වස්ත්‍ර පරිභෝගයෙන් ලෝභය ඇති වෙතැයි වස්ත්‍ර තෘෂ්ණාව දුරු කරනු පිණිස සණවත් හඳිති. මිනීවලින් ඉවත් කළ වස්ත්‍ර ගෙන පරිභෝග කරති. ජනයා ඉවත ලූ රෙදි කැබලි අවුලා පරිභෝග කෙරෙති. ගස්වල සිවි හෝ වස්ත්‍ර වෙනුවට පරිභෝග කරති. දිවිසම් වස්ත්‍ර වෙනුවට පරිභෝග කෙරෙති. නියඳ පට්ටා හෝ වස්ත්‍ර වෙනුවෙන් පරිභෝග කෙරෙති. ගස්වල පතුරු ද වස්ත්‍ර වශයෙන් පරිභෝග කෙරෙති. අස් ලොමින් කළ කම්බිලි හා හිසකෙස්වලින් කළ කම්බිලි ද පරිභෝග කෙරෙති. බකමූණු පියාපතින් කළ ඇඳුම් ද පරිභෝග කෙරෙති.

හිසකේ රැවුල් නො කපා උදුරා දමති. හිඳිම් නිදීම් හැර සිටගෙන ම හෝ වෙසෙති. උක්කුටිකයෙන් ම හෝ හිඳිති. යන්නට වුවමනා විට නො නැගී මැඩියන් සේ පනිමින් යෙති. කටු මත නිදති. ලෑලිවල හෝ බිම හෝ හොවිති. එක ඇලයකින් ම නිදන්නෝ හෝ වෙති. කය නො සෝදා නො නා දූවිලි තැවරුණු ගතින් ම වෙසෙති. පව් සෝදා හැරීමටය යි දිනකට තෙවරක් දියට බැස නාති. මේවා මිත්‍යාප්‍රතිපත්තීහුය. ඒ මිත්‍යාප්‍රතිපත්තිවලින් කිසි ප්‍රයෝජනයක් නැත. ඒවා පුරන්නෝ මෙලොව ද දුක් විඳ මරණින් මතු අපායෙහි උපදිති.

ඇතැම්හු දුකින් මිදීමේ ප්‍රතිපත්තියක් වශයෙන් ගෝව්‍රතය පුරති. ඇතැම්හු කුක්කුරව්‍රතය පුරති. ඒවා දුෂ්කර ප්‍රතිපත්තීහුය. ගෝව්‍රතය යනු තණ බුදීම ආදියෙන් ගවයා හැසිරෙන පරිදි හැසිරීමය. කුක්කුරව්‍රතය යනු සුනඛයන් සේ පැවැත්මය. ඒ පිළිවෙත පුරන්නෝ සුනඛයන් සේ බිද දැමු ආහාරය පහත් වී මුඛයෙන් ම ගෙන අනුභව කරති. පොළොව සූරා සුනඛයන්සේ බිම නිදති.

භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි හළිද්දවසන නම් නියම්ගම වැඩවෙසෙන අවස්ථාවෙහි ගෝව්‍රතය පුරන පූර්ණ නම් කෝලිය පුත්‍රයාය, කුක්කුරව්‍රතය පුරන සේනිය නම් අචේලකයා ය යන දෙදෙනා උන්වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්නාය. ඉක්බිති ගෝව්‍රතික පූර්ණ කෝලිය පුත්‍ර තෙමේ “ස්වාමිනී, කුක්කුරව්‍රතය පුරන්නා වූ අචේලක වූ මේ සේනිය දුෂ්කර ප්‍රතිපත්තියක් පුරන්නෙකි. හේ බිම දැමූ ආහාරය පහත් වී මුවින් ගෙන වළඳන්නේ ය. දීර්ඝ කාලයක පටන් පුරාගෙන එන ඔහුගේ ඒ කුක්කුරව්‍රතයේ මස්තකප්‍රාප්තිය කවරේද ? මරණින් මතු ඔහුගේ උපත කොහිද ?”යි විචාළේය. තථාගතයන් වහන්සේ “ඒ ප්‍රශ්නය නො අසව”යි ප්‍රතික්ෂේප කළ සේක. පූර්ණ දෙවනුව ද තුන්වනුවද එය ම විචාළේය. එකල්හි ඔහුට මෙසේ වදාළ සේක.

ඉධ පුණ්ණ එකච්චො කුක්කුරවතං භවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරසීලං භාවෙති පුරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරචිත්තං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරාකප්පං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, සො කුක්කුරවතං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරසීලං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරචිත්තං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරකප්පං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කායස්ස භෙදා පරම්මරණා කුක්කුරානං සහව්‍යතං උපපජ්ජති. සචෙ ඛො පනස්ස එවං දිට්ඨී හොති. ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ්මචරියෙන වා දොවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති. සාස්ස හොති මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨීකස්ස ඛෝහං පුණ්ණ, ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි නිරයං වා තිරච්ඡානයොනිං වා. ඉති ඛො පුණ්ණ සම්පජ්ජමානං කුක්කුරවතං කුක්කුරානං සහව්‍යතං උපනෙති. විපජ්ජමානං නිරයන්ති.

(කුක්කුරවතිය සු.)

එහි තේරුම මෙසේය:-

පූර්ණය, මේ ලෝකයෙහි ඇතැමෙක් කුක්කුරව්‍රතය සම්පූර්ණ කොට නිරතුරුව වඩා ද, කුක්කුරශීලය සම්පූර්ණ කොට නිරතුරුව වඩා ද, කුක්කුරචිත්තය සම්පූර්ණ කොට නිරතුරුව වඩා ද, කුක්කුරාකල්පය සම්පූර්ණ කොට නිරතුරුව පවත්වා ද, හෙතෙමේ කුක්කුරව්‍රතය සම්පූර්ණ කොට නිරතුරුව වඩා, කුක්කුරශීලය සම්පූර්ණ කොට නිරතුරුව වඩා, කුක්කුරචිත්තය සම්පූර්ණ කොට නිරතුරුව වඩා, කුක්කුරාකල්පය සම්පූර්ණ කොට නිරතුරුව පවත්වා මරණින් මතු බලුව උපදී. ඉදින් ඔහුට මේ ශීලයෙන් හෝ මේ ව්‍රතයෙන් හෝ මේ තපසින් හෝ මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ ශක්‍රාදි උසස් දෙවියෙක් හෝ වෙමිය, අන් දෙවියෙක් හෝ වෙමිය යන දෘෂ්ටිය ඇති වේ නම් එය මිත්‍යාදෘෂ්ටියකි. පූර්ණය, මම මිත්‍යාදෘෂ්ටිකයාට නරකය තිරිසන්යෝනිය යන ගති දෙකින් එක් ගතියක් කියමි. පූර්ණය, මෙසේ කුක්කුරව්‍රතය සමෘද්ධවත් හොත් බලුබවට පමුණුවයි. වැරදුණු හොත් නරකයට පමුණුවයි.

තථාගතයන් වහන්සේ එසේ වදාළ කල්හි කුක්කුරව්‍රත වඩන සේනිය කඳුළු සලා හඬා ගෝව්‍රතය පුරන පූර්ණගේ අනාගතය බුදුරදුන්ගෙන් විචාළේ ය. තථාගතයන් වහන්සේ පෙර සේම ඒ ප්‍රශ්නය ප්‍රතික්ෂේප කොට තුන්වර දක්වා විචාළ කල්හි පෙර සේම විසදා වදාළ සේක. පසුව ඒ දෙදෙන බුදුරදුන්ගෙන් දහම් අසා ඔවුන්ගේ මිත්‍යෘ ප්‍රතිපත්ති හැර බුදුසස්නෙහි පැවිදිව සම්‍යක්ප්‍රතිපත්ති පුරා සව්කෙලෙසුන් නසා රහත් වූහ.

තථාගතයන් වහන්සේ කිසි කලෙක නොවරදින, සම්පූර්ණ කළහොත් ඒකාන්තයෙන් නිවනට පමුණුවන සම්‍යක් ප්‍රතිපත්තියක් වදාරා ඇත්තේය. ඒ සම්‍යක් ප්‍රතිපත්තිය - නො වරදින ප්‍රතිපත්තිය පුරන බැවින් උන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න නම් වේ. තථාගතයන් වහන්සේගේ ඒ සුප්‍රතිපත්තිය මධ්‍යමනිකායේ මධ්‍යමපණ්ණාසකයේ මහාසකුලුදායි සූත්‍රයෙහි දැක්වෙන පරිදි විස්තර කළ යුතුය.

“පුන ච පරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථා පටිපන්නා මෙ සාවකා චත්තාරො සතිපට්ඨානෙ භාවෙන්ති, ඉධුදායි, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, වේදනාසු වෙදනානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, තත්‍ර ච පන මේ සාවකා බහු අභිඤ්ඤාවොසාන පාරමිප්පත්තා විහාරන්ති”

(මහාසකුලුදායි සුත්ත)

එහි තේරුම මෙසේය:-

“උදායි මා විසින් ශ්‍රාවකයන්ට දුකින් මිදී නිවන් ලබනු සඳහා පිළිපදනා ආකාරය කියා දී ඇත්තේ ය. මා විසින් කියා දී ඇති පරිදි පිළිපදින්නා වූ මාගේ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානයන් භාවනා කරති. උදායි, මේ සස්නෙහි මහණ තෙමේ බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ සංස්කාරයන්ගේ ඇති සැටිය දැකීමට සමත් යහපත් නුවණින් යුක්ත වූයේ භාවනාරම්මණය නැවත නැවත සිතට නගා දෙන යහපත් සිහියෙන් යුක්ත වූයේ තිර නැත්තා වූ, දුක් වූ ද, ආත්ම නොවන්නක් වූ ද, ශුභ නොවන්නා වූ ද මේ කය තිර නැතියක් දුක් ගොඩක් ආත්ම නොවන්නක් අශුභයක් වශයෙන් සිතින් බලමින් වෙසේ ද එසේ කිරීමෙන් ලෝකයයි කියනු ලබන මේ පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් ඇතිවිය හැකි ඇලීම හා ද්වේශය දුරු කෙරේ.

බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ, සංස්කාරයන්ගේ තතු දැන ගැනීමට සමත් නුවණින් යුක්ත වූයේ, භාවනාරම්මණය නැවත නැවත සිතට නඟා දෙන සිහියෙන් යුක්ත වූයේ, තිර නොවූ දුක් වූ ආත්ම නොවූ වේදනාවන් තිර නොවන දුක්වන ආත්ම නොවන දේවල් වශයෙන් සිතින් බලමින් වාසය කෙරේ ද ? එසේ වෙසෙමින් වේදනා සම්බන්ධයෙන් ඇතිවිය හැකි ඇලීම හා ද්වේශය දුරු කෙරේ.

බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ, සංස්කාරයන්ගේ තතු දැන ගැනීමට සමත් නුවණින් යුක්ත වූයේ, භාවනාරම්මණය නැවත නැවත සිතට නඟා දෙන සිහියෙන් යුක්ත වූයේ, තිර ආත්ම නොවූ දුක් වූ ආත්ම නොවූ චිත්තය, තිර නොවන - දුක්වන - ආත්ම නොවන දෙයක් ලෙස සිතින් බලමින් වාසය කෙරේ ද, එසේ වෙසෙමින් ඒ චිත්තය සම්බන්ධයෙන් ඇති විය හැකි ඇලීම හා ද්වේශය දුරු කෙරේ.

බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ, සංස්කාරන්ගේ තතු දැන ගැනීමට සමත් නුවණින් යුක්ත වූයේ, භාවනාරම්මණය නැවත නැවත සිතට නඟා දෙන සිහියෙන් යුක්ත වූයේ, තිර ආත්ම නොවූ දුක් වූ ආත්ම නොවූ නීවරණාදි ධර්මයන්, නොවූ දුක් වූ ආත්ම නොවූ ධර්මයන් වශයෙන් සිතින් බලමින් වාසය කෙරේ ද, එසේ වාසය කරමින් ඒ ධර්මයන් සම්බන්ධයෙන් ඇතිවිය හැකි ඇලීම හා ද්වේශය දුරු කෙරේ. එසේ පිළිපැදීමෙන් මාගේ බොහෝ ශ්‍රාවකයෝ අර්හත්වයට පැමිණ වාසය කරන්නාහ.”

කියන ලද පාඨයෙන් දැක්වෙන්නේ සතර සතිපට්ඨානයන් වැඩීම තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයනට කියා දී ඇති එක් සම්‍යක් ප්‍රතිපත්තියක් බවය. ඉදිරියට ද ඒ සූත්‍රයෙහි සතරසම්‍යක් ප්‍රධානාදිය වැඩීමත් තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට කියා දෙන ලද සම්‍යක් ප්‍රතිපත්තිය බව දක්වා තිබේ.

සතිපට්ඨාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්ද්‍රිය - බල - බෝධ්‍යංග - මාර්ගාංග යන බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමය, අෂ්ටවිමෝක්ෂයන් වැඩීමය, අෂ්ටාභිභායතනයන් වැඩීමය, සතර ධ්‍යානයන් වැඩීමය, අනේකප්‍රකාර ප්‍රාතිහාර්‍ය්‍යන් කිරීමට සමත් ඍද්ධිවිධ අභිඥාව ඉපදවීමය, දිව්‍යමය වූ ද - මානුෂික වූ ද - සියුම් වූ ද - දුරෙහි වූ ද ශබ්දයන් ඇසීමට සමත් දිව්‍යශෝත්‍ර අභිඥාව ඉපදවීමය. අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත් මේ ය යි දැනීමට සමත් පරචිත්ත විජානනඥානය උපදවා ගැනීමය, තමාගේ අතීත ජාති පිළිවෙළ දක්නා ඥානය උපදවා ගැනීමය, ඒ ඒ භවවලින් ච්‍යුතව කර්මානුරූපව සුගති දුර්ගතීන්හි උපදනා සත්ත්වයන්ගේ ච්‍යුත්‍යුත්පත්තීන් දක්නා නුවණ උපදවා ගැනීමය, සකලාශ්‍රවයන් ක්ෂය කොට අර්හත්ඵලය උපදවා ගැනීමය යන මේවා තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට උගන්වන ලද සම්‍යක් ප්‍රතිපත්තීහු ය. සතිපට්ඨාන භාවනාදියෙහි යෙදීම ශීලයෙහි පිහිටා කළ යුත්තක් වන බැවින් ප්‍රාතිමෝක්ෂසංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීවපාරිශුද්ධිශීලය, ප්‍රත්‍යයසන්නිඃශ්‍රීත ශීලය යන චතුපාරිශුද්ධි ශීලය ද ඒ සම්‍යක්ප්‍රතිපත්තියට අයත් වේ.

ශ්‍රමණප්‍රතිපත්තිය බොහෝ සූත්‍රවල අනේකාකාරයෙන් දේශනය කර ඇත්තේය. තවත් සූත්‍රවල දේශනය කර ඇති පරිදි ශ්‍රමණප්‍රතිපත්තිය මෙසේය.

ගිහිගෙය හැර පැවිදි වූ තැනැත්තා විසින් අනුන්ට හිංසා කිරීම පිණිස පාවිච්චි කරන දඬු මුගුරු ආයුධ පාව්ච්චිය හැර ප්‍රාණඝාතයෙන් වැළකී පව් කිරීමෙහි ලජ්ජා ඇතිව සත්ත්වයන් කෙරෙහි මෛත්‍රීය ඇතිව කරුණාව ඇතිව වාසය කළ යුතුය.

හිමියන් විසින් නුදුන් දෙය ගැනීමෙන් වැළකී දුන් දෙයක් පමණක් ගනිමින් සොරකම් නො කරන පිරිසිදු සිත් ඇතියකුව විසිය යුතුය.

ග්‍රාමධර්මසංඛ්‍යාත අබ්‍රභ්මචර්‍ය්‍යාවෙන් හෙවත් ලාමක හැසිරීමෙන් වැළකී පිරිසිදුව වාසය කළ යුතුය.

බොරු කීමෙන් වැළකී සත්‍යය ම පාවිච්චි කරන්නා වූ අන්‍යයන් නො රවටන්නාවූ ස්ථිර කථා ඇත්තා වූ විශ්වාස කළ හැකි කථා ඇත්තා වූ පුද්ගලයකු විය යුතුය.

කේළම් කීමෙන් හෙවත් සමගි වූවන්ගේ භේදය පිණිස එක් තැනක කී දෙය අසා අන් තැනකට ගොස් කීමෙන් වැළකුණා වූ බිඳුනවුන් සමඟි කරන්නා වූ සමඟි වූවන්ගේ සමඟිය තහවුරු කරන්නා වූ සමඟියට කැමති වන්නා වූ පුද්ගලයකු විය යුතුය.

අසන්නවුන්ගේ සිත් රිදවන පරුෂ වචන කීමෙන් වැළකී අසන්නවුන්ගේ සිත් පිණවන මටසිලුටු යහපත් වචන කියන කෙනකු විය යුතුය.

සම්ඵප්‍රලාපය හෙවත් අසන්නවුන්ට දෙලොවට යහපතක් නො වන නිරර්ථක කථාව හැර දෙලොව යහපතට හේතුවන යහපත් කථා පමණක සුදුසු කල් බලා කරන්නකු විය යුතුය.

පැළ හටගන්නා වූ මූලබීජාදි බීජයන් හා නො මැරුණු ගස් වැල් සිඳීම් ගින්නෙන් දැවීම් ආදියෙන් විනාශ කිරීමෙන් වැළකිය යුතුය. එක් වේලක් පමණක් ආහාර වළඳන රාත්‍රිභෝජනයෙන් වැළකුණු විකාල භෝජනයෙන් වැළකුණු කෙනෙකු විය යුතුය. නැටුම් ගැයුම් වැයුම් හා සද්ධර්මයට පටහැණි හෙයින් විසූක නම් වූ නොයෙක් ක්‍රීඩා ද කිරීමෙන් කරවීමෙන් ඇසීමෙන් බැලීමෙන් වැළකිය යුතුය. ගෙතු නො ගෙතූ මල්ය, සඳුන් ආදී සුගන්ධද්‍රව්‍යය, සම පැහැපත් කිරීම පිණිස ගල්වන කොකුම් කල්කාදිය ය යන මේවා පැළදීමෙන් ඇඟ ගැල්වීමෙන් වැළකිය යුතුය. උච්චාසයන මහාසයන පරිභෝගයෙන් වැළකිය යුතුය. රන් රිදී මසු කහවණු හෙවත් මිල මුදල් පිළිගැනීමෙන් වැළකිය යුතුය. අමුධාන්‍ය අමුමිරිස් පරිභෝජනයෙන් වැළකිය යුතුය. ස්ත්‍රීන් හා කුමාරිකාවන් පිළිගැනීමෙන් වැළකිය යුතුය. දාසි දාසයන් පිළිගැනීමෙන් වැළකිය යුතුය. එළුවන් තිරෙළුවන් පිළිගැනීමෙන් වැළකිය යුතුය. කුකුළන් ඌරන් පිළිගැනීමෙන් වැළකිය යුතුය. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැනීමෙන් වැළකිය යුතුය. කෙත්වතු පිළිගැනීමෙන් වැළකිය යුතුය. ගිහියන්ගේ පණිවිඩ හෝ හසුන්පත් හෝ තැනින් තැන ගෙන යාමෙන් වැළකිය යුතුය. ගිහියන්ගේ වැඩට තැනින් තැන යාමෙන් වැළකිය යුතුය. බඩුවලින් හෝ මුදලින් හෝ ගණුදෙනු කිරීමෙන් වැළකිය යුතුය. කිරුමෙන් වඤ්චා කිරීමය. රන්බඩු ලෙස නොරන් බඩු දීමෙන් චඤ්චා කිරීමය, මැණීමෙන් වඤ්චා කිරීමය යන මේවායින් වැළකිය යුතුය. හිමියන් අහිමියන් කිරීමට අල්ලස් ගැනීමය, ප්‍රයෝගයෙන් අනුන් රැවටීමය, සමාන දෙයකින් අන්‍යයන් රැවටීමය යන මේවායින් වැළකිය යුතුය. අත් පා ආදීය සිඳීම ය. මැරීමය, රැහැන් ආදියෙන් බැඳීමය, සැඟවී සිට පැහැර ගැනීමය, ගම් විනාශ කොට වස්තුව පැහැර ගැනීමය, බියගන්වා බලහත්කාරයෙන් වස්තුව පැහැර ගැනීමය යන මේවායින් වැළකිය යුතුය. වඩ වඩා දේවල් සොයන්නට නො ගොස් කය වසන සිවුරෙන් හා කුසගිනි නිවන ආහාරයෙන් ද සතුටු විය යුතුය. පක්ෂියාට යන යන තැන පියාපත් ගෙන යා හැකිවන්නාක් මෙන් ඒ භික්ෂුවට අපහසුවක් නැතිව යන යන තැනට තමාගේ පිරිකර ගෙන යා හැකිය. මේ ආර්‍ය්‍යශීලස්කන්ධයෙන් සමන්විත වන භික්ෂු තෙමේ නිරවද්‍යසුඛය විඳී.

කියන ලද ආර්‍ය්‍යශීලයෙහි පිහිටියා වූ භික්ෂුව විසින් තමාගේ චක්ෂුරාදි ඉන්ද්‍රියන් සංවර කළ යුතු ය. ඇසින් රූපයක් දුටු විට ස්ත්‍රියක, පුරුෂයෙක, ලස්සන එකෙක, ලස්සන එකියක, හොඳ එකෙක, හොඳ එකියක කියා එහි නිමිති නො ගත යුතු ය. මුහුණ සොඳය, කම්මුල් සොඳය, සිනාව සොඳය, කථාව සොඳය, යනාදීන් නො සැලකිය යුතුය. චක්ෂුරින්ද්‍රියසංවරයෙන් තොරව වාසය කරන්නහුට උපදින්නා වූ අභිද්‍යා ව්‍යාපාද සංඛ්‍යාත පාපධර්මයන් නූපදනා පරිදි චක්ෂුරින්ද්‍රිය සංවර කළ යුතුය. එසේ ම ශෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්ව - කාය - මන යන ඉන්ද්‍රියයන් සංවර කළ යුතුය. මේ ආර්‍ය්‍ය ඉන්ද්‍රිය සංවරය ඇත්තා වූ භික්ෂුවට ස්වසන්තානය රාගාදි කෙලෙසුන්ගෙන් තෙත් නො වීමේ සුවය ලැබේ.

ආර්‍ය්‍යශීලස්කන්ධයෙන් හා ඉන්ද්‍රියසංවරයෙන් යුක්ත මහණ විසින් ඉදිරියට යන කල්හි නුවණින් ඉදිරියට යා යුතුය. පස්සට යන කල්හි නුවණින් පස්සට යා යුතුය. ඉදිරිය බැලීම, වටපිට බැලීම නුවණින් කළ යුතුය. අත්පා හැකිළවීම හා දිගු කිරීම නුවණින් කළ යුතුය. පා සිවුරු දැරීම නුවණින් කළ යුතු ය. කෑම පීම නුවණින් කළ යුතු ය. මලමුත්‍ර පහකිරීම නුවණින් කළ යුතුය. යාම සිටීම හිඳීම නිදීම අවදිව සිටීම කථාකිරීම තුෂ්ණීම්භූතවීම යන සියල්ල ම නුවණින් කළ යුතුය.

මේ ආර්‍ය්‍ය ශීලස්කන්ධයෙන් හා ඉන්ද්‍රිය සංවරයෙන් යුත්ත වූ සතිසම්ම්පජඤ්ඤයෙන් යුක්ත වූ මහණහු විසින් අරණ්‍ය වෘක්ෂමූල ගුහා ආදි විවේකස්ථානයන් භජනය කළ යුතු ය. විවේකස්ථානවලට එළඹ පලඟ බැඳ කය කෙළින් තබා කර්මස්ථානයෙහි සිහිය පිහිටවා ගෙන වෙසෙමින් අභිද්‍යාව හෙවත් කාමච්ඡන්දය දුරු කිරීමට වෑයම් කළ යුතු ය. කාමච්ඡන්දය දුරු කොට එයින් සිත පිරිසිදු කර ගෙන වාසය කළ යුතු ය. ව්‍යාපාදය දුරු කිරීම සඳහා වෙර වැඩිය යුතු ය. ව්‍යාපාදය දුරු කොට ව්‍යාපාදයෙන් සිත පිරිසිදු කොට සකල සත්ත්වයන් කෙරෙහි මෛත්‍රීයෙන් විසිය යුතු ය. ථීනමිද්ධයන් දුරුකිරීමට වෙර වැඩිය යුතු ය. ආලෝක සංඥාවෙන් යුක්තව සිහියෙන් යුක්තව ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කොට වාසය කළ යුතු ය. උද්ධච්ච කුක්කුච්චයන් දුරු කිරීමට වෙර වැඩිය යුතු ය. උද්දච්ච කුක්කුච්චයන් දුරු කොට උද්ධච්චකුක්කුච්චයන්ගෙන් සිත පිරිසිදු කොට සන්සුන් සිතින් විසිය යුතුය. කුශලධර්මයන් කෙරෙහි විචිකිත්සාව දුරු කිරීමට වෙර වැඩිය යුතු ය. කුශලධර්ම විෂයෙහි එසේ ද මෙසේ ද යන සැක දුරු කොට පිරිසිදු සිතින් විසිය යුතුය.

සිත කිළිටි කරන්නා වූ ප්‍රඥාව දුබල කරන්නාවූ ඒ කාමච්ඡන්දාදි නීවරණයන්ගේ සිත පිරිසිදු කරගත් මහණහු විසින් කාමයන් කෙරෙත් වෙන්ව, අකුශල ධර්මයන් කෙරෙන් වෙන්ව, විතර්ක සහිත වූ විචාර සහිත වූ ප්‍රීතිය හා සුඛය ඇත්තා වූ ප්‍රථමධ්‍යානය උපදවා ගත යුතු ය.

ඉක්බිති චිතර්කවිචාරයන් සන්සිඳුවා ආධ්‍යාත්මයෙහි හටගත් ශ්‍රද්ධාව ඇත්තා වූ, චිත්තයාගේ එකඟ බව ඇත්තා වූ, විතර්ක රහිත වූ, විචාර රහිත වූ, සමාධියෙන් හටගත්තා වූ, ප්‍රීතිය හා සුඛය ඇත්තා වූ ද්විතීයධ්‍යානය උපදවා ගත යුතුය.

ඉක්බිති ප්‍රීතිය කෙරෙහි ඇල්ම හැර, උපේක්ෂකව, සිහි නුවණින් යුක්තව, ප්‍රණීත සුඛයෙන් යුක්ත වන තෘතීයධ්‍යානය උපදවා ගත යුතුය.

අනතුරුව කායික සුඛදුඃඛප්‍රහාණයෙන් සෝමනස්ස දෝමනස්සයන්ගේ දුරු වීමෙන් සුඛදුඃඛ විරහිත වූ, උපේක්ෂාව නිසා පිරිසිදු වූ, යහපත් සිහියෙන් යුක්ත වන්නා වූ චතුර්ථධ්‍යානය උපදවා ගත යුතු ය.

ධ්‍යාන උපදවා ගත් භික්ෂු තෙමේ ඒ සමාධියෙන් ලෝකෝත්තර මාර්ගඵල උපදවා එළඹ සිටි සිහි ඇත්තේ වෙයි. යම් ධර්මයෙක්හි අභිද්‍යා ව්‍යාපාදාදි අකුශල ධර්මයෝ ඉතිරි නො වී නිරුද්ධ වෙත් ද, ඒ චේතෝවිමුක්තිය පඤ්ඤාවිමුක්තිය තත්ත්වාකාරයෙන් දැන ගනී. හෙතෙමේ ඇසින් රූප දැක ප්‍රිය රූපයට ලෝභ නො කෙරේ, අප්‍රිය රූපයට ද්වේශ නො කෙරේ. සුඛවේදනාවක් හෝ දුඃඛවේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් හෝ ඔහුට ඇති වූ කල්හි ඔහු “අහෝ සැපය”යි තෘෂ්ණා වශයෙන් ඒ වේදනාව ගැන සතුටු නොවේ. තෘෂ්ණා වශයෙන් “අහෝ සැපය, අහෝ සැපය”යි නො කියයි. ඒ වේදනාව තෘෂ්ණාවෙන් නො ගිළගනී. එසේ වේදනාවන් කෙරෙහි ඇලීම දුරු කොට වාසය කරන්නා වූ භික්ෂුවගේ වේදනාවන් ගැන සතුටු වන්නා වූ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදානයෝ නිරුද්ධ වෙති. උපාදාන නිරෝධයෙන් මතු උත්පත්තිය ඇති කරන කර්මයන්ගේ නිරෝධය වේ. කර්මයන්ගේ නිරෝධයෙන් උත්පත්ති නිරෝධය වේ. උත්පත්ති නිරෝධයෙන් ජරා මරණ ශෝක- පරිදේව- දුඃඛ-දෞර්මනස්‍ය- උපායාශයෝ නිරුද්ධ වෙති. මෙසේ ඒ දුඃඛස්කන්ධයාගේ නිරෝධය වේ.

ඒ භික්ෂු තෙමේ කනින් ශබ්ද අසා, නැහැයෙන් ගන්ධයන් ආඝ්‍රාණය කොට, දිවෙන් රසයන් ආස්වාදනය කොට, කයින් නොයෙක් පහස් ලැබ, සිතින් නොයෙක් දේ දැන ප්‍රිය දෙයට ඇලුම් නො කරයි. අප්‍රිය දෙයට ද්වේශ නො කරයි. ඇලීම් ගැටීම් දෙකින් මිදුණා වූ ඒ භික්ෂු තෙමේ සුඛ වූ හෝ දුඃඛ වූ හෝ සුවදුක් නොවූ හෝ යම් වේදනාවක් විඳී ද ඔහු ඒ වේදනාව ගැන තෘෂ්ණා වශයෙන් සතුටු නො වේ. තෘෂ්ණා වශයෙන් “අහෝ සැපය” යනාදීන් නො කියයි. ඒ වේදනාව තෘෂ්ණාවෙන් නො ගිළගනී. එසේ වූ ඔහුට වේදනාවන් පිළිබඳ වූ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය (කුශලාකුශල කර්ම නිරෝධය) වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ජරා-මරණ ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ස-උපායාශයෝ නිරුද්ධ වෙති. මෙසේ ඒ දුඃඛස්කන්ධයාගේ නිරෝධය වේ. මේ මධ්‍යමනිකායේ මහාතණ්හක්ඛය සූත්‍රයෙහි වදාරා ඇති ප්‍රතිපත්ති ක්‍රමය ය.

ප්‍රතිපත්ති නානත්වය

ධ්‍යානාභිඥා මාර්ගඵල ලබා නැති දැනට වෙසෙන පෘථග්ජන භික්ෂූන් කෙරෙහි කියන ලද සුප්‍රතිපන්න ගුණය ඇත ද? නැත ද? යනු සුප්‍රතිපන්න ගුණය සම්බන්ධයෙන් පැන නැගෙන ප්‍රශ්නයෙකි. ඒ ප්‍රශ්නය භික්ෂූන් වහන්සේගේ ප්‍රතිපත්තිනානත්වය අනුව විසඳා ගත යුත්තකි. මේ ශාසනයෙහි සියලු භික්ෂුහූ සමාන ලෙස පිළිවෙත් පුරන්නාහු නො වෙති. ඇතමෙක් ලාභකීර්ති ප්‍රශංසාවක් නැතිව ජීවිතාපේක්ෂාව පවා හැර සිවුපිරිසිදු ශීලයෙහි පිහිටා ආරණ්‍යක පිණ්ඩපාතිකාදි ධුත ගුණයන්හි පිහිටා “කාමං තචො ච නහරූ ච අට්ඨී ච අවසිස්සතු” යනාදීන් වදාළ පරිදි “සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් වේවා, ලේ මස් වියළී යතොත් යේවා, මා විසින් බලාපොරොත්තු වන උසස් දෙය නො ලබා නො නවතිමිය” යන අධිෂ්ඨානයෙන් සිත දැඩි කර ගෙන බලවත් වීර්‍ය්‍යෙන් දවල් කාලය සම්පූර්ණයෙන් සක්මනින් හා හිඳීමෙන් ද, එසේ ම රාත්‍රියේ ප්‍රථම පශ්චිම යාම දෙක ද ගත කරමින් සමථවිදර්ශනා භාවනාවන්හි යෙදෙති. ඇතැම්හු ශීලධුත ගුණයන්හි පිහිටා තරමකින් භාවනාවෙහි යෙදෙති. ඇතැම්හු ධුතගුණයන්හි නො පිහිටා ශීලමාත්‍රයෙහි පිහිටා මඳ වශයෙන් භාවනාවෙහි යෙදෙති. ඇතැම්හු ශීලධුතගුණයන් පිරීමෙන් පමණක් කල් යවති. ඇතැම්හු ශීලමාත්‍රය ම පුරති. ඇතැම්හු ශීලය ද ඇතැම් සිකපද කඩකරමින් අසම්පූර්ණ කොට රක්ෂා කරති. මෙසේ ඒ ඒ භික්ෂූන් විසින් පුරන ප්‍රතිපත්ති අනුව ඇතමෙක් සව් කෙලෙසුන් නසා අර්හත්ඵලයට පැමිණෙති. ඇතැම්හු අනාගාමී ඵලයට පැමිණෙති. ඇතැම්හු සකෘදාගාමී ඵලයට පැමිණෙති. ඇතැම්හු සෝවාන් ඵලයට පැමිණෙති. ඇතැම්හු ධ්‍යානාභිඥා ලබති. ඇතැම්හු ධ්‍යාන පමණක් ලබති. ඇතැම්හු උපචාරසමාධිමාත්‍රයක් ලබති. ඇතැම්හු කිසි විශේෂ ගුණයක් නො ලබා මරණින් මතු ස්වර්ගගාමී වෙති. මෙසේ අනේකාකාරයෙන් පිළිවෙත් පුරන්නා වූ භික්ෂූන් අතුරෙන් නො බෝ කලකින් අර්හත්වයට පැමිණෙන පරිදි බලවත් වීර්‍ය්‍යයෙන් පිළිවෙත් පුරන භික්ෂුව විසින් පුරන්නේ ද, මේ බුදුසස්නෙහිදී උසස් තත්ත්වයකට පැමිණීමේ අපේක්ෂාවක් නැතිව ලිහිල් ලෙස පිළිවෙත් පුරන භික්ෂුව විසින් පුරන්නේ ද, තථාගතයන් වහන්සේ විසින් දක්වා වදාරා ඇති ඒකාන්තයෙන් නිවනට පමුණුවන සුප්‍රතිපත්තිය ම ය. එබැවින් ලිහිල් ලෙස පිළිවෙත් පුරන වර්තමාන පෘථග්ජන භික්ෂූන් ද සුප්‍රතිපන්නයන් බව කිව යුතු ය. උන් වහන්සේලා කෙරෙහි සුප්‍රතිපන්න ගුණය නැතය යි නො කිය යුතු ය. අතීතයෙහි ජීවිත පරිත්‍යාගයෙන් ඉතා උග්‍ර අන්දමින් පිළිවෙත් පිරූ බොහෝ බුද්ධශ්‍රාවකයෝ වූහ. උන් වහන්සේලා මැනවින් පිළිවෙත් පිරූ බැවින් ද සුප්‍රතිපන්නයෝ ය. ඉදිරියෙහි එසේ පිළිවෙත් පිරූ ශ්‍රාවකයන්ගේ චරිත කිහිපයක් දක්වනු ලැබේ.

උග්‍ර ලෙස පිළිවෙත් පිරූ ශ්‍රාවකයෝ

නාලක තෙරුන් වහන්සේ

බුදුසස්නෙහි මෝනෙය්‍ය වත නම් වූ උසස් ප්‍රතිපත්තියක් ඇත්තේ ය. ඉතා දුෂ්කර වූ ඒ ප්‍රතිපත්තිය පුරන්නේ එක් බුදුසසුනක එක් ශ්‍රාවකයකු විසින් පමණෙකි. ඒ ප්‍රතිපත්තිය උත්කෘෂ්ට ලෙස පුරන ශ්‍රාවකයකුට සත්මසකට වඩා ජීවත් විය නො හේ. මධ්‍යම ප්‍රමාණයෙන් පුරන්නකුට සත්වසකට වඩා ජීවත් විය නොහේ. ලිහිල් ලෙස පුරන්නකුට සොළොස්වසකට වඩා ජීවත් විය නොහේ. අප බුදුසස්නෙහි ඒ ප්‍රතිපත්ති පිරුවේ නාලක තෙරුන් වහන්සේ විසිනි.

නාලක තෙරුන් වහන්සේගේ කථාව මෙසේය:-

ශුද්ධෝදන රජතුමාගේ පියා වූ සීහහනු රජුට අසිත නම් පුරෝහිත බ්‍රාහ්මණයෙක් විය. ශුද්ධෝදන රජුට ශාස්ත්‍ර උගැන් වූ ගුරුවරයා ඔහුය. සීහහනු රජුගේ ඇවෑමෙන් ශුද්ධෝදන කුමාර තෙමේ රජ විය. අසිත එතුමාගේ පුරෝහිත විය. ඔහු දිනපතා උදය සවස රාජෝපස්ථානයට එන්නේය. රජතුමා ඔහුට පෙර සේ ගරු බුහුමන් නො කොට දෙ අත් එකතු කොට වැඳීම පමණක් කරයි. එයින් කළකිරුණු අසිත, පුරෝහිත බව හැර පැවිදි වන්නට සිතුවේය. හේ රජුට ඒ අදහස දැන්වීය. රජතුමා ඔහු නො වැළැකිවිය හැකි බව දැන “ආචාර්‍ය්‍යයෙනි, එසේ නම් පැවිදිව අපට නිතර දැකිය හැකි වීමට අපගේ උයනෙහි ම විසුව මැනය”යි කීය. හේ “එසේ වේවා”යි රජුට ප්‍රතිඥා දී ඍෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව රජුගෙන් උපස්ථාන ලබමින් රජඋයනෙහි වෙසෙමින් කිසුනු පිරියම් කොට අෂ්ට සමාපත්ති හා පඤ්චාභිඤා උපදවා ගත්තේය. ඔහුට සතළිස්කපක් අතීතයන් සතළිස්කපක් අනාගතයන් පෙනෙන්නේ ය. මහාබෝසතාණාන්ගේ උපත එතෙක් සිදු වී නො තිබිණ. මේ කාලයේ නාලක අසිත තවුසාගේ නැගණියගේ කුස ඉපිද තුරුණු වියට පැමිණ සිටියේය. ඔහු මෙයින් කල්පලක්ෂයකට ඔබ ලොව පහළ වූ පියුමතුරා බුදුරදුන්ගේ ශ්‍රාවකයකු මෝනෙය්‍ය ප්‍රතිපදාව පුරනු දැක පැහැදී තමාට ද අනාගත බුදුකෙනෙකුගේ සසුනෙහි ඒ උත්තම වත පිරිය හැකිවේවා’යි එතැන් පටන් කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ඇති පිනැති පුද්ගලයෙකි. අසිත තාපස තෙමේ සුදොවුන් රජුගේ මාළිගාවෙහි වළඳා හිමවත හෝ දිව්‍යලෝකයෙහි හෝ දවල් කාලය ධ්‍යානසුඛයෙන් ගත කරයි. හේ එක් දිනක දවල් කාලයේ විසීම සඳහා තව්තිසා දෙව්ලොවට ගොස් දෙව්විමනකට පිවිස දිව්‍යමය වූ රුවන්පළඟක සමාධි සුවය විඳිමින් හිඳ, සවස් කාලයේ සමාපත්තියෙන් නැගී විමන් දොර සිට ඔබ මොබ බලන්නේ ඉමහත් ප්‍රීතියකින් බෝසත් ගුණ කථනය කරමින් ක්‍රීඩා කරන දේවසමූහයා දුටුයේ ය. තාපසතුමා “දෙවියනි, අද තෙපි කිනම් කරුණක් නිසා මෙසේ ප්‍රීති වන්නහු දැ”යි ඇසීය. එකල්හි දෙවියෝ “සුදොවුන් රජතුමාට මතු බුදුවන මහ පිනැති පුත් කුමරෙක් උපන්නේ ය. ඔහු මතු බුදු වී අපමණ ලෝසතුන් නිවන් දක්වන්නේ ය. ඒ නිසා අපි මෙසේ සතුටු වන්නෙමුය”යි කීහ. ඔවුන්ගේ බස් ඇසූ අසිත තාපස තෙමේ වහා දෙව් ලොවින් බැස රජ ගෙදරට ගොස් පනවන ලද අසුනෙහි හිඳ රජතුමා පැමිණ වැඳ සිටි කල්හි “මහරජ ඔබට පුත් කුමරෙක් උපන්නේය යි ඇසීමු. ඔහු දක්නට කැමැත්තෙමි”යි කීය. එකල්හි රජතුමා පුතු සරසවා ගෙන්වා ඔහු ලවා තාපසයන් වැන්දවීමට තැත් කෙළේය. බුදුවන ජාතියේ මහබෝසත් කෙනෙකුගෙන් වැඳුම් ලැබීමට සුදුස්සකු ලොව නැත්තේය. එබැවින් එකෙණෙහි බෝසත්තුමාගේ පායුවල ඉබේ ම තාපස තුමා දෙසට හැරී ඔහුගේ ජටාවෙහි සැපී සිටියේය. තාපස තෙමේ ද වහා අසුනෙන් නැඟී තමාට වැන්දවීමට ගෙන ආ සිඟිති දරුවාට දෙ අත් එක් කොට වැන්දේය. ඒ ආශ්චර්‍ය්‍යය දුටු රජතුමා ද පුත්කුමරාට වැන්දේය, අතීතානාගත දෙකින් අසූ කපක් දක්නට සමත් නුවණ ඇති තාපස තෙමේ දෙවියන් කී පරිදි “මේ කුමරා ඒකාන්තයෙන් අනාගතයේ බුදුවන්නේදැ”යි බලනුයේ බුදුවන බව දැක, මොහු ආශ්චර්‍ය්‍ය පුරුෂයෙකැයි සිනාසුනේය. ඉක්බිති “තමාට කුමරු බුදු වී සිටිනු දක්නට ලැබේදෝ”යි බලනුයේ එතුමාගේ බුදුසිරි දක්නට එතෙක් කල් ජීවත් වීමට තමාට ආයු නැති බව දැක, “මේ අසිරිමත් පුරුෂයාගේ බුද්ධශ්‍රීය දැකීමේ භාග්‍යය මට නැත්තේය”යි ශෝකයෙන් කඳුළු සැලී ය. ඉක්බිති තාපස තෙමේ තමාගේ නෑයන් අතරවත් බුදුසිරි දැකීමේ වාසනාව ඇතියෙක් ඇත්තේ දැයි බලනුයේ නැඟණියන්ගේ පුත් නාලක කුමරු දැක, වහා නැඟණියගේ නිවසට ගොස්, නාලක කුමරු කොහිදැයි අසා ඔහු ගෙන්වා “දරුව, ශුද්ධෝදන රජුගේ ගෙයි දරුවෙක් උපන්නේය. ඔහු පන්තිස් වසකින් ලොවුතුරා බුදු වන්නේය. ඒ බුදුන් දක්නට මට ආයු නැත්තේය. නුඹට ඔහුගේ බුදුසිරි දක්නට, ඔහු විසින් බෙදා දෙන දහම් අමාරසය වළඳන්නට ආයු ඇත්තේය. ගිහිව විසුවහොත් ඒ බුදුන් වෙත යාමට ඉඩ නො ලැබී යන්නටත් පිළිවන. එබැවින් ඒ බුදුන් උදෙසා නුඹ අද ම “පැවිදිවන්නය”යි කීය. තවුස් තුමාගේ කීම ඇසූ නාලක දරුවා තමාට අනාගතයෙහි හිමිවන්නට මාපිය සතු සත් අසූකෙළක් ධනය ඇත ද, “මාගේ මාමා වන මේ තාපසතුමා අනර්ථයක නම් මා යොදවන්නේ නැත. මුන් වහන්සේගේ කීම පිළිගැනීමෙන් මට යහපතක් ම වනු ඇතැයි”සිතා එයට කැමති විය. ඉක්බිති වෙළඳ සැලකින් කසාවත් හා මැටිපාත්‍රයක් ගෙන්වා තාපස ප්‍රවෘජ්‍යාවෙන් ඔහු පැවිදි කරවා, “බුද්ධ යන ඝෝෂාව යම් කලෙක ඇසුණේ නම්, යම් කලෙක ඒ සුදෝවුන් රජුගේ දරුවා ලොවුතුරු බුදුව දහම් අමා වැසි වස්සන්නට වී නම්, එකල්හි එතුමා වෙත ගොස් එතුමා යටතේ මහණදම් පුරව”යි ඔහුට අනුශාසනා කෙළේය. නාලක පැවිදි ලෝකයෙහි යම් උත්තම පුද්ගලයෙක් වේ නම් මාගේ පැවිද්ද ඔහු උදෙසා ය”යි සිතමින් මහබෝසතුන් වෙසෙන දිශාවට පසඟ පිහිටුවා වැඳ, පාත්‍රය-ථවිකයෙහි ළා උරයෙහි එල්වා ගෙන හිමාල වනයට ගොස් බෝසතුන් බුදුවන තුරු එහි විසුයේ ය. සිදුහත් කුමරු පස්මරුන් පරදවා ලොවුතුරා බුදුබවට පැමිණ දම්සක් පැවැත්වූ දිනයෙහි නාලක තවුසාගේ යහපත කැමති දෙවියෝ ඔහු වෙත ගොස් ඒ බව කීහ. නාලක තාපස, තමා කලක් තිස්සේ බලාපොරොත්තුව විසූ ආරංචිය අසනු ලැබීමෙන් ඉමහත් ප්‍රීතියට පැමිණ මෝනෙය්‍ය ප්‍රතිපත්තිය බුදුරජුන්ගෙන් විචාරනු පිණිස උන් වහන්සේ දක්නට පිටත් විය “බුදුරදුන් වෙත මෝනෙය්‍ය ප්‍රතිපත්ති ඇසීමට පැවිද්දෙක් එන්නේය” යන ඝෝෂාව දෙවියන් අතර පැතිර ගියේය. නාලක තාපස ක්‍රමයෙන් මඟ ගෙවා අවුත් දම්සක් පැවැත්වීමෙන් සත්වන දිනයෙහි බුදුරදුන් හමුවට පැමිණියේය. තථාගතයන් වහන්සේ කලින් ම නාලක තවුස් තමන් වහන්සේ වෙත එමින් සිටිනු දැක ඔහු පිළිගැනීමට ඉසිපතනයෙහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩ සිටි සේක. නාලක තවුස් එහි පැමිණ බුදුරදුන් දැක දර්ශනයෙන් ම සියලු සැක දුරුකර ගෙන ප්‍රසන්න වූ සිතින් තථාගතයන් වහන්සේ වැඳ

“අඤ්ඤාතමෙතං වචනං - අසිතස්ස යථා තථං,
තං තං ගොතම පුච්ඡාමි – සබ්බධම්මානපාරගුං,

අනගාරියුපෙතස්ස - භික්ඛාචරියං ජිගිංසතො,
මුනි පබ්‍රෑහි පුට්ඨො - මොනෙය්‍යං උත්තමං පදං”

යනුවෙන් උත්තම වූ මෝනෙය්‍ය වත විචාළේය. එකල්හි තථාගතයන් වහන්සේ:

“මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්සං - දුක්කරං දුරභිසම්භවං
හන්ද තෙ නං පවක්ඛාමි - සන්ථම්භස්සු දළ්හො භව”

යනාදීන් මෝනෙය්‍ය වත ඔහුට වදාළ සේක. දැනගැනීමට වුවමනා අය එය සුත්තනිපාතයේ නාලක සූත්‍රයෙන් බලාගත යුතුය. ග්‍රන්ථය මහත් වන බැවින් මෙහි නො දක්වනු ලැබේ. මෝනෙය්‍ය වත රහත් වීමෙන් කෙළවර වන ප්‍රතිපත්ති ක්‍රමයෙකි. එය පුරන්නා විසින් පෘථග්ජන කාලයේදී ම කිසි ම ක්ලේශයකට තමා කෙරෙහි උපදින්නට ඉඩ නො දිය යුතු ය. එබැවින් එය පිරීම ඉතා දුෂ්කරය. නාලක තාපස ඒ ප්‍රතිපත්තිය අකුරට ම පිළිපැද්දේ ය. නාලක තාපස මෝනෙය්‍ය සූත්‍ර දේශනාවසානයෙහි පහන් සිතින් භාග්‍යවතුන් වහන්සේ වැඳ වනයට පිවිසියේ ය. ඉන් පසු ඔහු නැවත බුදුරදුන් දැකීමේ ආශාවක් ද නො කෙළේ ය. නැවතත් බුදුරදුන්ගෙන් දහම් අසන්නට ද ආසා නො කෙළේය. නැවත මෝනෙය්‍ය වත අසන්නට ද ආසා නො කෙළේ ය. නැවත ඔහු බුදුරදුන් දක්නට නො පැමිණියේ ය. වනයට පිවිසි හෙතෙමේ එක් වන ලැහැබක රාත්‍රී දෙකක් ගත නො කළේ ය. එක් ගසක් මුල දෙදිනක් නො සිටියේ ය. එක් ගමකට දෙදිනක් පිඬු පිණිස නො පිවිසියේ ය. එසේ වනයෙන් වනයට, ගසින් ගසට, ගමින් ගමට යෙමින් එතුමා සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියේ ය. මෝනෙය්‍ය වත උත්කෘෂ්ට වශයෙන් ම පිරූ බැවින් එතුමාට ජීවත් විය හැකි වූයේ සත්මසකි. සත්මසක් ඇවෑමෙන් තමන්ගේ ආයුසංස්කාරය පිරිහී ඇති බැව් දුටු තෙරණුවෝ ජලස්නානය කොට හැඳ පොරවා තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන දිශාවට පසඟ පිහිටුවා වැඳ පර්වතයකට හේත්තු වී දොහොත් නඟා තථාගතයන් වහන්සේට වැඳගෙන සිටගෙනම පිරිනිවන් පා වදාළහ. තථාගතයන් වහන්සේ ඒ බව දැක භික්ෂූන් හා එහි වැඩම කොට තෙරණුවන්ගේ සිරුර ආදාහනය කරවා ධාතු ගෙන චෛත්‍යයක් ද කරවූහ. (රහත්ව පිරිනිවියා වූ ප්‍රථම බුද්ධශ්‍රාවකයා නාලක තෙරුණුවන් විය හැකිය.)

(සුත්තනිපාතට්ඨකථා)

ජීවිත පරිත්‍යාගයෙන් පිළිවෙත් පිරූ භික්ෂූන් සත් නමක්

කාශ්‍යප බුදුරදුන්ගේ පිරිනිවීමෙන් පසු සසුන පිරීහි යන කල්හි ඇතැම් පැවිද්දන්ගේ නො මනා පැවතුම් දැක ඉමහත් සංවේගයට පත් භික්ෂූන් වහන්සේ සත් නමක් “සසුන පවත්නා මේ කාලයේ දී අප විසින් අපට පිහිටක් කර ගත යුතුය”යි කථා කොට ස්වර්ණ චෛත්‍යය වැඳ වනයට පිවිස එහි හැසිරෙන්නාහු පර්වතයක් දැක “අපි මේ පර්වතයට නැඟ ජීවිතාශාව හැර මහණදම් පුරමු”යි කථා කර ගෙන හිණක් බැඳ එහි ආධාරයෙන් පර්වතයට නැඟ නැවත එයින් බැස යා නොහැකි වනු පිණිස හිණ පෙරලා දමා පර්වතය මත නිරාහාරව ම සිට බලවත් වීර්‍ය්‍යයෙන් භාවනාවෙහි යෙදුණෝය. උන් වහන්සේලාගේ මහලු තෙරුන් වහන්සේ එක් රාත්‍රියකින් ම සව්කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියහ. පසු දින උන් වහන්සේ උතුරුකුරු දිවයිනේ පිඬුසිඟා අවුත් සෙසු භික්ෂූන් අමතා “අවැත්නි, මෙයින් පිණ්ඩපාතය වළඳා මහණ දම් පුරන්නහුය”යි කීහ. “ස්වාමිනී, නුඹ වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන් මෙසේ කළහුය. අපට නුඹ වහන්සේට මෙන් විශේෂයකට පැමිණිය හැකි වුව හොත් අපිම පිණ්ඩපාතය ගෙනවුත්ම වළදන්නෙමුය”යි කියා ඒ පිණ්ඩපාතය නො පිළිගෙන නිරාහාරව සිට ගෙන ම භාවනාවෙහි යෙදුණෝය. දෙවන දිනයෙහි දෙවන තෙරුන් වහන්සේ අනාගාමී ඵලයට පැමිණ අභිඥා ලැබ පිඬු සිඟා අවුත් පළමු තෙරුන් වහන්සේ මෙන් ම සෙස්සන්ට පිණ්ඩපාතය පිළිගන්නා ලෙස ආරාධනා කළහ. සෙස්සෝ නො පිළිගත්හ. උන් වහන්සේලාගෙන් රහත් වූ තෙරණුවෝ පිරිනිවන් පා වදාළහ. අනාගාමී වූ තෙරණුවෝ ශුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්හ. ඉතිරි පස්නම විශේෂාධිගමනයකට පැමිණීමට මරණය තෙක් උත්සහ කොට ද නො පැමිණිය හැකි වී පෘථග්ජන භාවයෙන් ම දිවි කෙළවර කොට දෙව්ලොව උපන්හ. ඔවුහු බුද්ධාන්තරයක් වූ දිර්ඝ කාලයෙහි දෙව්ලොවින් දෙව්ලොවට ඉපදමින් සිට මේ බුද්ධෝත්පාදකාලයෙහි මිනිස් ලොව ඉපද රහත්ව දුක් කෙළවර කළෝ ය. පුක්කුසාතිරජ ඔවුන්ගෙන් එක් කෙනෙකි. කුමාර කාශ්‍යප තෙරණුවෝ එක් කෙනෙකි. දබ්බමල්ලපුත්ත තෙරණුවෝ එක් කෙනෙකි. සභිය පිරිවැජි එක් කෙනෙකි. බාහියදාරුචීරිය එක් කෙනෙකි.

(උදානට්ඨකථා)

චක්ඛුපාල තෙරුන් වහන්සේ

චක්ඛුපාල තෙරුන් වහන්සේ පැවිදිව උපසම්පදාව ලබා ආචාර්‍ය්‍යෝපාධ්‍යායයන් ඇසුරෙන් පස් වසක් කල් යවා බුදුරදුන් වෙත එළඹ අර්හත්වය පිණිස කමටහන් ලබා ගෙන විවේකස්ථානයකට ගොස් මහණ දම් පුරණු පිණිස තමන් හා යනු කැමති භික්ෂූන් සොයන්නාහු සැට නමක් ලැබ ඔවුන් හා සැවැත් නුවරින් නික්ම යන්නාහු යොදුන් එකසිය විස්සක් දුර ගොස් එක් පිටිසර ගමකට පැමිණ එහි පිරිවර සමඟ පිඬු පිණිස හැසුරුණහ. එගම් වැසියෝ ශාන්ත වූ ඒ භික්ෂු පිරිස දැක පැහැදී අසුන් පනවා වඩා හිඳුවා ප්‍රණීත ආහාර පානයන් පිළිගන්වා වළඳා අවසානයෙහි “ස්වාමීනි, නුඹ වහන්සේලා කොහි වැඩම කරන්නාහු දැ”යි විචාළෝය. එකල්හි තෙරණුවෝ උපාසකවරුණි, අපි පහසු ඇති විවේකස්ථානයක් සොයා යන්නෙමු”යි කීහ. ඒ වචනය ඇසූ නුවණැති මනුෂ්‍යයෝ උන් වහන්සේලා වස් එළඹීමට සුදුසු තැනක් බලමින් වැඩම කරන බව තේරුම් ගෙන එහිම වස් එළඹෙන ලෙස ආරාධනා කළෝ ය. තෙරණුවෝ ආරාධනාව ඉවසූහ. මනුෂ්‍යයෝ උන් වහන්සේලාට විසීමට සෙනසුන් පිළියෙල කර දුන්හ. භික්ෂූහු එහි වෙසෙමින් පිඬු පිණිස දිනපතා ඒ ගමට පිවිසුණහ. උන් වහන්සේලා දැක පැහැදුණා වූ එක් වෙද මහතෙක් උන් වහන්සේලා වෙත එළඹ, “ස්වාමීනි, බොහෝ දෙනෙකුන් වෙසෙන තැන අපහසුකම් ද ඇති විය හැකිය. නුඹ වහන්සේලා අතරින් යමෙකුට රෝගයක් ඇති වුවහොත් මාහට දන්වනු මැනව. මම එයට පිළියම් කරමි”යි සැල කෙළේ ය.

වස් එළඹෙන දිනයෙහි තෙරණුවෝ තමන්ගේ සහාය භික්ෂු පිරිස අමතා “ඇවැත්නි, මේ තෙමසෙහි ඔබ වහන්සේලා කොතෙක් ඉරියව් වලින් කල් යවන්නට බලාපොරොත්තු වන්නහු දැ”යි විචාළහ. සතර ඉරියව්වෙන් ම ය යි භික්ෂූහු කීහ. “ඇවැත්නි, එසේ කල් යැවීම සුදුසු ද? අපි දිවමන් බුදුරදුන්ගෙන් කමටහන් ගෙන ආවෝ වෙමු. බුදුරදුන් රැවටිල්ලෙන් සතුටු කළ නො හැකිය, යහපත් අදහස් ඇතියවුන් වීමෙන් ම බුදුරදුන් සතුටු කළ හැකිය. අවැත්නි, ප්‍රමාද වන්නන්ට සතර අපාය සිය නිවස වැනිය, එබැවින් අප්‍රමාද වව්ය”යි පිරිසට අනුශාසනා කළහ. භික්ෂූහු “ඇවැත්නි, නුඹ වහන්සේ කොතෙක් ඉරියව්වලින් වාසය කරන්නාහුදැ”යි ඇසූහ. “ඇවැත්නි, අපි හිඳීම - සිටීම - ගමන යන තුන් ඉරියව්වෙන් පමණක් කල් යවන්නෙමුය. අසුනක පිට තබා නො නිදන්නෙමු ”යි තෙරණුවෝ කීහ. “යහපත ස්වාමීනි, අප්‍රමාද වන සේක්වා ”යි භික්ෂුහූ කීහ.

නිද්‍රවෙන් වැළකී තුන් ඉරියව්වෙන් පමණක් බලවත් වීර්‍ය්‍යෙන් මහණදම් පුරන්නා වූ තෙරුන් වහන්සේට වස්කාලයේ දෙවන මාසයේ දී ඇස් රෝගයක් හට ගත්තේය. සිදුරු ඇති කළයකින් දිය බිඳු ගලන්නාක් මෙන් උන් වහන්සේගේ නෙත්වලින් කඳුලු ගලන්නට විය. භික්ෂුහූ කලින් පවරා තුබූ වෙද මහතාට ඒ බව දැන් වූ කල්හි ඔහු ඒ රෝගය එක් වරක් නස්‍ය කිරීමෙන් ම සුවකිරීමට සමර්ථ මහඟු තෙලක් පිළියෙල කොට, “මෙය නස්‍ය කරන්නය”යි තෙරුන් වහන්සේට යැව්වේය. තෙරුන් වහන්සේ වාඩි වී තෙල් නස්‍ය කර පිඬු පිණිස ගමට පිවිසි කල්හි වෙදමහතා තෙරුන් වහන්සේ දැක, “ස්වාමීනි, මාගේ තෙලක් පිළියෙළ කොට යවා ඇත, නුඹ වහන්සේ එය නස්‍ය කළ සේක් දැ”යි ඇසීය. “එසේය උපාසක”යි තෙරුන් වහන්සේ කීහ. “කිමෙක් ද අපහසුව සුව වී දැ”යි ඇසු කල්හි “තවම ඇස් රිදේය”යි තෙරුන් වහන්සේ කීය. නුඹ වහන්සේ තෙල, “හිඳ නස්‍ය කළහු ද, ශයනය කොට නස්‍ය කළහුදැ”යි විචාළ කල්හි තෙරණුවෝ නිහඬ වූහ. වෙදමහතා තෙරුන් වහන්සේ වැඩ වෙසෙන තැනට ගොස් විමසා ශයනය කරන තැනක් නො දැක හිඳ තෙල නස්‍ය කළ බව තේරුම් ගෙන, නැවත ද “කෙසේ නස්‍ය කළාහුදැ”යි අසා තෙරුන් වහන්සේ තුෂ්ණිම්භූත වූ කල්හි “ස්වාමීනි, මහණදම් පිරිය හැක්කේ ශරීරය හොඳින් පවත්නා කල්හිය, ශයනය කර මේ තෙල නස්‍ය කරනු මැනව”යි කීහ. තෙරුන් වහන්සේ වෙදමහතා යවා තමන්ට තමන් විසින් ම අවවාද කරගෙන “ඇස්වලට වන්නක් වේවා, මහණදම ම නො පිරිහෙළා කරමි”යි තදින් ඉටා පසු දින ද හිඳගෙන ම තෙල නස්‍ය කර භික්ෂූන් සමග ගමට පිඬු පිණිස ගියහ. වෙදමහතා උන් වහන්සේ දැක කරුණු අසා නිදා නස්‍ය නො කළ බව දැන, “ස්වාමීනි, මාගෙන් ප්‍රතිකාර ගෙන ඔබ වහන්සේගේ ඇස් නටුයේය යන ආරංචිය පැතිර ගියහොත් මට ද පාඩුවෙක, එබැවින් නුඹ වහන්සේට මා විසින් ප්‍රතිකාර කළ බව නො කියන සේක්වා”යි කීය. තෙරුන් වහන්සේ විහාරයට ගොස් “මහණ, දැන් නුඹ වෛද්‍යයා විසින් ප්‍රතික්ෂේප කරන ලද්දෙහිය. මරණයට නියතව සිටින්නෙහි ය. එබැවින් අප්‍රමාද වෙව”යි තමන්ට අවවාද කර ගෙන සිත දැඩි කර ගෙන භාවනාවෙහි යෙදුණාහ. එදින රාත්‍රියේ මධ්‍යම යාමය ඉක්මුණු කල්හි උන් වහන්සේ සව් කෙලෙසුන් නසා අර්හත්ඵලයට පැමිණියහ. එකෙණෙහි හි ම නෙත් යුවළ ද බිඳී තෙරණුවෝ අන්ධ වූහ. එතැන් පටන් ගම්වැසියෝ විහාරයට ම කැඳබත් යවමින් උන් වහන්සේට උපස්ථාන කළහ. සෙසු භික්ෂූහු ද උන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා මහණදම් පුරා ඒ වස්කාලය තුළදී ම අර්හත්වයට පැමිණියෝ ය.

(ධම්මපදට්ඨකථා)

ගංගාතීරිය තෙරුන් වහන්සේ

පදුමුත්තර බුදුරදුන්ගේ කාලයේ එක් කුලපුත්‍රයෙක් බුදුසස්නෙහි පැහැදී භික්ෂුසංඝයාහට පැන් දුන්නේය. හේ ඒ පිනෙන් දෙව්ලොව ඉපිද නැවත නැවත ද දෙව්මිනිස් දෙගතියෙහි උපදිමින් පින් කරනුයේ අප බුදුරදුන්ගේ කාලයේ සැවැත්නුවර එක් කුලගෙයක ඉපද වැඩිවිය පැමිණ තමා අතින් සිදු වූ වරදකින් සංවේගයකට පැමිණ ගිහිගෙය හැර පැවිදිව ඉතා රූක්ෂ ප්‍රතිපත්තියට බැස පංසුකූල සිවුරු දරමින් මිනීවලට කිරි ඉස්නා මැටි බඳුනක් වැනි මැටිපාත්‍රයක් ගෙන ගංගාතීරයෙහි තල්පත් තුනකින් කුටියක් සදා ගෙන එහි වෙසෙමින් අරහත්වයට පැමිණෙන තුරු කිසිවකු හා කථා නො කරන්නට ඉටා ගෙන බලවත් වීර්‍ය්‍යෙන් මහණදම් පිරුවේය. ඒ භික්ෂුවට මාපියන් විසින් තැබූ නම දත්ත ය. ගං ඉවුරෙහි විසීම නිසා පසු කාලයේදී ඔහුට ගංගාතීරිය නම ඇති විය. කථා නො කිරීමට ඉටා මහණදම් පිරීමට බැසගත් තෙරණුවෝ ප්‍රථම වර්ෂයේ දී කිසිවකු හා වචනයකුදු කථා නො කළහ. දෙවන වසරෙහි උන් වහන්සේ පිඬු සිඟා වඩනා ගමෙහි එක්තරා ස්ත්‍රියක් උන් වහන්සේ ගොළුවෙක් දැ’යි විමසනු පිණිස පාත්‍රයට කිරි වත්කරන්නී අත වැසූ කල්හි ද නො නවත්වා ම කිරි වත්කළාය. එදා උන් වහන්සේ අතින් ඇඟවීමෙන් කිරි වත්කිරීම නවතාලිය නො හී “ඇත නැඟණියනි” යන වදන මුවින් නිකුත් කළහ. බලවත් වීර්‍ය්‍යයෙන් මහණදම් පිරූ තෙරුන් වහන්සේ තෙවන වසරෙහි වස්කාලයේදී සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියහ. උන් වහන්සේ පසු කාලයේ තමන් වහන්සේගේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරිම් වස් මේ ගාථා වදාළහ.

තිණ්ණං මෙ තාලපත්තානං - ගංගාතීරෙ කුටී කථා,
ඡවසිත්තො ච මෙ පත්තො - පංසුකූලං ච චීවරං,

-

තිණ්නං අන්තරවස්සානං - එකා මෙ වාචා භාසිතා,
තතියෙ අන්තරවස්සම්හි - තමොක්ඛන්ධො පදාලිතො.

(ථෙරගාථා අට්ඨකථා)

අම්බඛාදක තිස්ස තෙරුන් වහන්සේ

අම්බඛාදක තිස්ස තෙරුන් වහන්සේ ජීවිතය නිසාද කුඩා සිකපදයකුත් කඩ නො කොට සිල් රැකි තෙර නමකි. උන් වහන්සේ දුර්භික්ෂ කාලයකදී මඟට බැස ගමන් කරන්නාහු ආහාර නො ලැබීමෙන් හා ගමන් විඩාවෙන් ද දුබලව ඉදිරියට යා නො හී එක් අඹ ගසක් යට ශයනය කළහ. ඒ ගසෙහි බොහෝ අඹපල තිබිණ. ඉදුණු අඹ පල බිම ද වැටී තිබිණ. ශයනය කරන උන් වහන්සේ සමීපයටද ඉදුණු අඹ පල වැටිණ. එය අස්වාමික අඹගසක් වූ බැවින් ඒ අඹපල ගෙන වැළඳීමට කිසිවකුගෙන් බාධාවක් ද නැත. එහෙත් ඒ අඹපල සියතින් ගෙන වැළඳීම භික්ෂූන්ට අකැපය. ඒවා සියතින් ගෙන වැළඳුවහොත් “යො පන භික්ඛු අදින්නං මුඛද්වාරං ආහාරං ආහරෙය්‍ය අඤ්ඤත්‍ර උදකදන්තපොනා පාචිත්තියං” යන සිකපදය බිඳීමෙන් ඇවැත් වේ. එය මහා ආපත්තියක් නොවන ඇවතෙකි. භික්ෂූන් වහන්සේ නමක් වෙත ඇවැත් දෙසීමෙන් එයින් පිරිසිදු විය හැකිය. එහෙත් තෙරණුවෝ ආහාර නො ලැබීමෙන් මරණයට පත්වීමට ද ඉඩ ඇති අමාරු අවස්ථාවේහිද,

“ධනං චජෙ යො පන අංගහෙතු
අංගං චජෙ ජීවිතං රක්ඛමානො,
අංගං ධනං ජීවිතඤ්චා පි සබ්බං
චජේ නරො ධම්මමනුස්සරන්නො”

“ශරීරාවයවයන් රැක ගැනීමට ධනය හළ යුතුය. දිවි රැක ගැනුම පිණිස ශරීරාවයව ද හළ යුතුය. ධර්මය සිහි කරන්නහු විසින් ධර්මානුකූල ප්‍රතිපත්තිය රකිනු සඳහා අංග-ධන-ජීවිත යන සියල්ලම පරිත්‍යාග කළ යුතුය.” යන සත්පුරුෂානුස්මෘතිය සිහි කෙරෙමින් නිරාහාරත්වයෙන් නැසෙතොත් නැසේවා”යි ජීවිත පරිත්‍යාගයෙන් සිකපදය ආරක්ෂා කළහ. අත ළඟ ම ඇති අඹපල නො ගෙන ජීවිත පරිත්‍යාගයෙන් සිල් රක්නා තෙරුන් වහන්සේගේ ගුණානුභාවයෙන් දෝ සැදැහැවත් උපාසක මහතෙක් එහි පැමිණියේ ය. ඔහු තෙරුන් වහන්සේ දැක උන් වහන්සේ ක්ලාන්තව සිටිනු දැක අඹ පල ගෙන මැඩ අඹ පැන් පිළියෙළ කොට උන් වහන්සේට පිළිගැන්වීය. ඉක්බිති උපාසක මහතා ඉදිරියටත් උපස්ථාන කොට තෙරුන් වහන්සේට ශක්තිය ලබා දී දිවි රැක දෙනු පිණිස උන් වහන්සේ පිටෙහි හිඳුවා තමාගේ වාසස්ථානයට ගෙන ගියේ ය. තෙරුන් වහන්සේ උපාසක මහතාගේ පිටින් යෙමින් ම තමන් වහන්සේගේ ශීලය ආවර්ජනා කොට විදසුන් වඩා සව් කෙලෙසුන් නසා අර්ත්ඵලයට පැමිණියහ.

(විසුද්ධිමග්ග)

කියන ලද තෙරුන් වහන්සේලා මෙන් මේ බුදු සස්නෙහි බොහෝ බුද්ධශ්‍රාවකයෝ ජීවිත පරිත්‍යාගයෙන් පිළිවෙත් පිරූහ. සංඝගුණයයන් අතුරෙන් ප්‍රධාන ගුණය සුපටිපන්න ගුණය ය. උජුපටිපන්න, ඤායපටිපන්න, සාමීචිපටිපන්න, යන ගුණ තුන සුපටිපන්න ගුණයේ ම ආකාර විශේෂයෝ ය. සුපටිපන්න ගුණය ඇති කල්හි ඒ ගුණ තුන ද ඇත්තේය. ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිනණෙය්‍ය, අඤ්ජලිකරණීය යන ගුණ සතර හා අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණය සුපටිපන්නගුණයාගේ ඵලයෝ ය. සුපටිපන්න ගුණය ඇති කල්හි ඒ ගුණ පස ද ලැබෙන්නේ ය.

17. උජුපටිපන්න ගුණය

කාමසුඛල්ලිකානු යෝගය අත්තකිලමථානු යෝගය යන වැරදි මාර්ග දෙක නො ගෙන කෙලින්ම නිවනට වැටෙන අෂ්ඨාංගික මාර්ග සංඛ්‍යාත සෘජුමාර්ගයෙහි පිළිපන් බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ උජුපටින්න නම් වෙති. නිවනට වැටෙන ඍජුමාර්ගය ගෙන පිළිපැදීම උජුපටිපන්න ගුණය ය.

“ද්වේ මෙ භික්ඛවෙ, අන්තා පබ්බජිතේන න සෙවිතබ්බා, යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනන්ථසංහිතො”

යනුවෙන් “කාමසුඛල්ලිකානුයෝගය, අත්තකිලමථානුයෝගය යන අන්ත, පැවිද්දන් විසින් නො ගත යුතුය”යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. එබැවින් තථාගත ශ්‍රාවකයෝ ඒ ලාමක අන්ත දෙක ලාමක මාර්ග දෙක නො ගනිති. බුදුරදුන් ලොව පහළ වී දහම් දෙසීමට පෙර ලෝකයෙහි මිනිසුන් විසින් ගෙන සිටියේ ඒ මාර්ග දෙකය. බොහෝ දෙනෙකුන් ගෙන සිටියේ කාමසුඛල්ලිකානුයෝගය යි. කාමසුඛල්ලිකානුයෝගයෙහි ලාමක බව දැනගත් ටික දෙනෙක් ගතයුතු නියම මඟ නො දත් බැවින් අත්තකිලමථානුයෝගය ගෙන එයට බැස සිටියෝය.

කාමසුඛල්ලිකානු යෝගය යනු “ජීවිතයෙහි පරමාර්ථය පස්කම් සැප විඳීමය”යි සිතා අධර්මයෙන් වුව ද ධනය උපයා හැකිතාක් පස්කම් සැප විඳීමය. ප්‍රාණවධාදි නොයෙක් පව්කම් කරමින් එසේ කාමයන්හි ඇලී ගැලී සිට බොහෝ සත්ත්වයෝ මරණින් මතු අපාගත වන්නාහ.

අත්තකිලමථානුයෝගය යනු පරණ පව් ගෙවීමටය කියා නොයෙක් උපක්‍රමයෙන් ශරීරයට දුක්දීමය. එය නිඝණ්ඨප්‍රතිපත්තිය ය. ඔවුහු “සත්ත්වයනට යම් සැපක් හෝ දුකක් වේ නම් ඒ සියල්ල සිදුවන්නේ අතීත කර්මයෙනැයි වරදවා තේරුම් ගෙන කයට දුක් දී අතීත අකුශල කර්මවලට විපාක විඳ අවසන් කොට අලුත් අකුසලද නො කර සිටියහොත් දුකින් මිදිය හැකිය”යි සිතා අතීත පව් ගෙවාලීම පිණිස අව්වෙහි සිටීම, මධ්‍යාහ්නයෙහි සතරදිගින් ගිනි ගොඩවල් ගසා මැදට වී සිටීම, ශීත කාලයෙහි එළිමහනෙහි විසීම, දියට බැසීම, වැස්සට තෙමීම, ඇණ මත හිඳීම, වැතිර සිටීම යනාදිය කරති. ඒ අත්තකිලමථානුයෝගය ය. ශරීරයට පීඩාකර ගැනීමෙන් අතීත අකුසල් නැති නො කළ හැකිය. ශරීරයට කොතෙක් දුක් දුන ද සත්ත්වයා අපායෙහි උපදවන අකුශලය, එය කළ පුද්ගලයා අපායෙහි උපදවන්නේ ම ය. පව් යටපත් කළ හැක්කේ ද නැසිය හැක්කේ ද කුශලයෙනි. ලෞකික කුශලයෙන් පව් යටපත් කල හැකිය. පස් පනස් වසක් මිනිසුන් මැරූ චෝරඝාතකයාහට තව්තිසා දෙව්ලොව ඉපිද හැකි වූයේ ද, පනස් වසක් මසුන් මැරූ දමිලදෝවාරිකයාට දෙව්ලොව ඉපදිය හැකි වූයේ ද කුශලයෙන් අකුශලය යටපත් කිරීමෙනි. සෝවාන් මාර්ගය නමැති ලෝකෝත්තර කුශලයෙන් මතු අපායට පැමිණවිය හැකි අකුශලකර්ම සියල්ල ම නැසේ. අතීතයෙහි කළ කොතෙක් අකුශලකර්ම ඇත ද ඒවා සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා අපායට යැවීමට සමත් නොවේ. කයට දුක් දීමෙන් දුකින් මිදිය හැකිය යනු මිත්‍යාදෘෂ්ටියකි. මිත්‍යාදෘෂ්ටිය අපායෝත්පත්තියට හේතුවකි.

“එතෙ තෙ භික්ඛවේ, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.”

යනුවෙන් දැක්වෙන ඒ ලාමක අන්ත දෙකට නො බැස තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ ප්‍රඥාචක්ෂුස ඇති කරන්නා වූ කෙලෙස් සන්සිඳවන්නා වූ චතුස්සත්‍යාවබෝධයට හේතුවන නිවන් ලැබීමට හේතුවන මජ්ඣිම පටිපදා නම් වූ ප්‍රතිපත්තික්‍රමයක් ඇත්තේය. එය නිවනට පමුණුවන ඍජුමාර්ගය ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඒ ඍජුමාර්ගය ගෙන පිළිපදින්නෝ ය. ඒ ඍජුමාර්ගය නම්:-

“කතමා ච සා භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථීදං? සම්මාදිට්ඨි සම්මාසංකප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි”

යනුවෙන් දක්වා වදාරා ඇති අෂ්ටාංගිකමාර්ගය ය.

“කින්නු ඛො භො ගොතම, සො කරොති සො පටිසංවෙදියතීති? සො කරොති සො පටිසංවෙදියතීති ඛො බ්‍රාහ්මණ අයමෙකො අන්තො, කිම්පන භො ගොතම අඤ්ඤා කරොති අඤ්ඤා පටිසංවෙදියතීති? අඤ්ඤා කරොති අඤ්ඤා පටිසංවෙදියතීති ඛො බ්‍රාහ්මණ අයං දුතියො අන්තො.

එතෙ තෙ බ්‍රාහ්මණ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති, අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චය ඵස්සො, ඵස්ස පච්චයා වෙදනා, වෙදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවො, භව පච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙස විරාගනිරොධා සංඛාර නිරොධො, සංඛාරනිරොධා විඤ්ඤාණ නිරොධො, විඤ්ඤාණ නිරොධා නාමරූපනිරොධො, නාමරූප නිරොධා සළායතන නිරොධො, සළායතන නිරොධා ඵස්සනිරොධො, ඵස්ස නිරොධා වෙදනා නිරොධො, වෙදනා නිරොධා තණ්හා නිරොධො, තණ්හා නිරෝධා උපදාන නිරොධො, උපාදාන නිරොධා භව නිරොධො, භව නිරොධා ජාති නිරොධො, ජාතිනිරොධා ජරාමරණ සෝක පරිදේව දුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී තී”

(සංයුත්ත නිකාය)

මේ සූත්‍රයෙහි වදාරා ඇති පරිදි ද අන්ත දෙකක් ඇත්තේ ය. පින්පව් කරන්නා ම ඒවායේ විපාක විඳීය යන ශාශ්වතදෘෂ්ටිය එක් අන්තයෙකි. අනිකෙක් පින්පව් කෙරේය, අනිකෙක් ඒවායේ විපාක විඳීය යන උච්ඡේද දෘෂ්ටිය එක් අන්තයෙකි. ලෝකයෙහි වෙසෙන සාමාන්‍ය ජනයා මේ අන්ත දෙකින් එක් අන්තයක් ගෙන සිටිති. ඒ අන්ත දෙකම වැරදි බැවින් ඉන් කිනම් අන්තයක් හෝ ගෙන සිටින්නහුට දුකින් නොමිදිය හැකිය. නිවන් නො ලැබිය හැකිය. “පින්පව් කරන්නේ ම ඒවායේ විපාක විඳීය” යන ශාශ්වත දෘෂ්ටිය නිවනට පැමිණීමට මිස ස්වර්ගසම්පත්තිය ලැබීමට බාධාවක් නොවේ. ඒ දෘෂ්ටියෙහි පිහිටා පින් කොට දෙව්මිනිස් සැප ලැබිය හැකිය. තථාගතයන් වහන්සේ ඒ අන්ත දෙකට ම නො පැමිණ අවිද්‍යාදි හේතුන් නිසා සංස්කාරාදී ඵල ධර්ම ඇති වීමෙන් ස්කන්ධපරම්පාව නො සිඳී පවත්නා සැටිත්, අවිද්‍යාදීන්ගේ නිරෝධයෙන් ස්කන්ධපරම්පරාවේ නිරෝධය වන බවත්, සත්ත්වයනට දුකින් මිදීමට ඇත්තා වූ එකම මාර්ගය අවිද්‍යාදීන්ගේ නිරෝධය පිණිස පිළිපැදීම බවත් දැන වදාරා එය පිණිස ශ්‍රාවකයන්ට දහම් දෙසූ සේක. ඒ ධර්මමාර්ගය ඒ ප්‍රතිපත්තික්‍රමය නිවනට පැමිණෙන සෘජු මාර්ගය ය. ඒ මාර්ගය ගෙන පිළිපදින බැවින් ද තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකසංඝයා වහන්සේ උජුපටිපන්න නම් වෙති.

තවද කායවංක - වචීවංක - මනෝවංකයන් ප්‍රහාණය කිරීම සඳහා පිළිපන් බැවින් ද ශ්‍රාවකසංඝයා වහන්සේ උජුපටිපන්න නම් වෙති. කායවංක නම් කායදුශ්චරිතයෝය. වචීවංක නම් වාක්දුශ්චරිතයෝ ය. මනෝවංක නම් මනෝදුශ්චරිතයෝය. තථාගතයන් වහන්සේ කායවංකාදිය ප්‍රහාණය සඳහා ශ්‍රාවකයනට දහම් දෙසති.

බෝසතාණන් වහන්සේ අතීතයේ රියකරුවකු වී පචේත නම් රජකුට රිය සක් දෙකක් තැනූහ. ඉන් එක් රෝදයක් තැනුයේ සදිනකින් අඩු සමසකිනි, එක් රෝදයක් තැනූයේ සදිනකිනි. සාමාන්‍ය පෙනීමට ඒ රෝද දෙක්හි වෙනසක් නො තිබිණ. රජතුමා රෝද දෙක බලා වෙනසක් නො දැක “මේ රෝද දෙක්හි ඇති වෙනස කිම දැ”යි බෝසතාණන්ගෙන් ඇසීය. එකල්හි බෝසතාණෝ සදිනකින් තැනූ රෝදය ගෙන වේගයෙන් බිම පෙරළා යැවූහ. එය වේගය ඇතිතාක් ඉදිරියට ගොස් වේගය සන්සිඳීමෙන් පසු බිම අද වැටිණි. ඉක්බිති සමසකින් කළ රෝදය පෙරළා යැවූහ. එය වේගය ඇතිතාක් ඉදිරියට ගොස් එසේ ම නැවතිණ. බිම ඇද නො වැටිණ. එසේ වීමට හේතුව රජු විචාළ කල්හි සදිනකින් කළ රෝදයෙහි නොයෙක් තැන් වල ඇද ඇති බැවින් එය ඇද වැටුණ බවත් සමසකින් කළ රෝදයෙහි දොස් නැති බැවින් නො වැටී සිටි බවත් බෝසතාණෝ පැවසූහ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය ගෙන හැර දක්වා ශ්‍රාවකයනට මෙසේ අනුශාසනය කළ සේක.

“එතරහි ඛො පනාහං භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො කුසලො කායවංකානං කායදොසානං කායකසාවානං, කුසලො වචීවංකානං වචීදොසානං වචීකසාවානං, කුසලො මනොවංකානං මනොදොසානං මනොකසාවානං, යස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා කායවංකො අප්පහීනො කායදොසො කායකසාවො, වචීවංකො අප්පහීනො වචීදොසො වචීකසාවො, මනොවංකො අප්පහීනො මනො දොසො මනොකසාවො, එවං පපතිතා තෙ භික්ඛවෙ, ඉමස්මා ධම්මවිනයා, සෙය්‍යථාපි තං චක්කං ඡහි දිවසෙහි නිට්ඨිතං, යස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා කායවංකො පහීනො කායදොසො කායකසාවො, වචීවංකො පහීනො මනොදෙසො මනොකසාවො, එවං පතිට්ඨිතා තෙ භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ, සෙය්‍යථාපි තං චක්කං ඡහි මාසෙහි නිට්ඨිතං ඡාරත්තුනෙහි, තස්මා තිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං, කායවංකං පජහිස්සාම කායදොසං කායකසාවං, වචීවංකං පජහිස්සාම වචීදොසං වචීකසාවං, මනොවංකං පජහිස්සාම මනොදොසං මනොකසාවන්ති, එවං භි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.”

(අංගුත්තරනිකාය 67)

තේරුම:-

මහණෙනි, දැන් මම අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙමි. කායවංක කායදෝස කායකසාවයන් මැනවින් දන්නේ වෙමි. වචීවංක වචීදෝස වචීකසාවයන් මැනවින් දන්නේ වෙමි. මනෝවංක මනෝදෝස මනෝකසාවයන් මැනවින් දන්නේ වෙමි. මහණෙනි, යම් භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක විසින් හෝ කායවංක කායදෝස කායකසාවයන් අප්‍රහීණ ද, වචීවංක වචීදෝස වචීකසාවයන් අප්‍රහීණ ද, මනෝවංක මනෝදෝස මනෝකසාවයන් අප්‍රහීණ ද, මහණෙනි, ඔවුහු සදිනකින් කළ රියසක ඇද වැටුණාක් මෙන් මේ ධර්ම විනයෙහි වැටුණාහු වෙති. මහණෙනි, යම් භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක විසින් හෝ කායවංක කායදෝස කායකසාවයන් ප්‍රහීණ ද, වචීවංක වචීදෝස වචීකසාවයන් ප්‍රහීණ ද , මනෝවංක මනෝදෝස මනෝකසාවයන් ප්‍රහීණ ද, ඔවුහු සදිනකින් අඩු සමසකින් කළ රියසක මෙන් මේ ධර්ම විනයෙහි පිහිටියාහු වෙති. මහණෙනි, එබැවින් තොප විසින් මෙසේ හික්මිය යුතුය. කායවංක කායදෝස කායකසාවයන් දුරු කරන්නෙමුය. වචීවංක වචීදෝස වචීකසාවයන් දුරු කරන්නෙමු ය. මනෝවංක මනෝදෝස මනෝකසාවයන් දුරු කරන්නෙමුය කියා මෙසේ තොප විසින් හික්මිය යුතුය.

තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් පුරන අධිශීල අධිචිත්ත අධිප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාත්‍රය කායවංකාදීන් දුරු කොට කාය වාචා චිත්තයන් පිරිසිදු කරන ඍජු කරන ප්‍රතිපත්තියකි.

18. ඤායපටිපන්න ගුණය

ඤාය යනු නිවනට නමෙකි. නිවන පිණිස නිවනට අනුව ඒකාන්තයෙන් නිවනට පමුණුවන අධිශීල-අධිචිත්ත-අධිප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපත්තිය පුරන බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඤායපටිපන්න නම් වෙති.

ලෝකයෙහි ඇති සැම දෙයක්ම උපදවා ගැනීමට ලබා ගැනීමට කළ යුතු ඒ ඒ දෙය ලැබීමට නිසි, වෙන් වෙන් වූ වැඩ ඇත්තේය. වැලි මිරිකා තෙල් ලැබිය නො හෙන්නාක් මෙන් යම් කිසිවක් ලැබීමට අනිසි දෙයක් කිරීමෙන් ඒ දෙය නො ලැබිය හැකිය. කිනම් දෙයක් හෝ කිරීමෙන් කිනම් ප්‍රතිපත්තියක් හෝ පිරීමෙන් නිවන් නො ලැබිය හැකිය. නිවන් ලැබීමට නිවන් ලබා දෙන එයට නිසි ප්‍රතිපත්තියක් ඇත්තේය. එය පිරීමෙන් මිස අන් ක්‍රමයකින් නිවන් නො ලැබිය හැකිය. කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගය නිවන් ලැබීමට නිසි ප්‍රතිපත්ති නො වන බැවින් නිවන් නො ලැබිය හැකිය. නිවන් ලැබීමට නිසි නිවන් ලැබීමේ ප්‍රතිපත්තිය තේරුම් ගත හැකි වීමට නිවන හා සංසාරප්‍රවෘත්තියේ හේතු ද සාමාන්‍යයෙන් දත යුතුය. සත්ත්වයා මරණින් කෙළවර වන්නේ නො වේ. මැරෙන සත්ත්වයා අන් තැනක උපදී. එතැන ද මැරී අන් තැනක උපදී. එතැන ද මැරී තවත් තැනක උපදී. මෙසේ නැවත නැවත ඉපදීම මැරීම් වශයෙන් ස්කන්ධ පරම්පරාව පැවැත්ම මහත් වූ දුඃඛයෙකි. “නිවනය”යි කියනුයේ දුඃඛස්කන්ධයක් වන ඒ ස්කන්ධ පරම්පරාවේ නැවැත්මය, නිවීමය. සන්සිඳීම ය. ඒ සන්සිඳීම වූ නිවන ලැබිය හැක්කේ එයට පැමිණිය හැක්කේ, යම් හේතුවකින් ස්කන්ධය පරම්පරාව නො සිඳී දිගින් දිගට යේ ද ඒ හේතුව නැති කිරීමෙනි. ස්කන්ධපරම්පරාවේ නො සිඳී පැවැත්මට හේතුව සත්කායදෘෂ්ටිය-අවිද්‍යාව-තෘෂ්ණාව යන මොවුන්ගේ පැවැත්මය. ඒ ධර්ම පවත්නා තුරු සංසාරප්‍රවෘත්තිය නො නවතී. යම් ප්‍රතිපත්තියකින් ඒ ධර්මයන් ප්‍රහාණය කළ හැකි වේ නම් ඒ ප්‍රතිපත්තිය නිවන් ලැබීමේ මාර්ගය ය. ඒ ප්‍රතිපත්තිය නම් අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා යන ශික්ෂාත්‍රය ය. තවත් ක්‍රමයකින් කියත හොත් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ය. නිවන් ලැබීම සඳහා තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයනට දක්වා ඇත්තේ ඒ ප්‍රතිපත්තිය ය. ඒ ප්‍රතිපත්තිය ඒකාන්තයෙන් නිවනට පමුණුවන නිවනට ගැළපෙන ප්‍රතිපත්තියක් වන බැවින් සක්දෙව්රජු විසින් ද මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ය.

“සුපඤ්ඤත්තා ඛො පන තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනී පටිපදා, සංසන්දති නිබ්බානං චෙව පටිපදා ච, සෙය්‍යථාපි නාම ගංගොදකං යමුනොදකෙන සංසන්දති, සමෙති. එවමෙව සුපඤ්ඤත්තා තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනීපටිපදා සංසන්දති, නිබ්බානං පටිපදා ච.”

(මහාගොවින්ද සුත්ත)

“ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට නිර්වාණගාමිනී ප්‍රතිපත්තිය දක්වන ලද්දේ ය. යම් සේ ගංගෝදකය යමුනෝදකය හා සැසඳෙන්නේ ද, එමෙන් නිර්වාණය හා ප්‍රතිපත්තිය සැසඳෙන්නේ ය” යනු එහි අදහස ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ අනුකූල ප්‍රතිපත්තිය පුරා නිවන් ලබන්නාහ.

19. සාමීචි පටිපන්න ගුණය

දුටු විට හුනස්නෙන් නැඟී සිටීම, අසුන් පනවා දීම, ග්‍රීෂ්ම ඇති වෙලාවෙහි පවන් සැලීම, පා සේදීම, මුහුණ සේදීම, නෑම සඳහා සිසිල් පැන් උණු පැන් පිළියෙල කරදීම, පා සෝදා දීම, නෑවීම, පා සිවුරු සෝදා දීම, සෙනසුන් පවිත්‍ර කර දීම, යනාදිය සාමීචිකර්ම නම් වේ. ගුණවත් පුද්ගලයන්ට කර දීමට සුදුසු ක්‍රියාය යනු සාමීචිකම්ම යන වචනයේ තේරුම ය. අනුන් විසින් පිළිගැන්වූ දෙයක් පමණක් වළඳන තණ ගසකුදු නො නසන පොළොව නො සාරන කිසිවකුට පීඩාවක් නො කරන සත්ත්වයන් කෙරෙහි මෛත්‍රීයෙන් වෙසෙන භික්ෂූන් වහන්සේ සාමීචිකර්මයට ඉතා ම සුදුසු ය. උපාසයකු විසින් අම්බඛාදකතිස්ස තෙරුන් වහන්සේට සත්කාර කොට තමාගේ පිටින් ගෙන ගියේ භික්ෂූන් වහන්සේ සාමිචිකර්මයට සුදුසු නිසාය. මෛත්‍රීකරුණාදි සාමීචිකර්මයට සුදුසු ගුණ දහම් වඩනා බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සාමීචි පටිපන්න නම් වෙති. අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාත්‍රය සුදුසු පරිදි ආදරෙයෙන් ගෞරවයෙන් පුරන නිසා ද ශ්‍රාවකසංඝයා වහන්සේ සාමීචිපටිපන්න නම් වෙති.

20. ආහුණෙය්‍ය ගුණය

බොහෝ දුර වුව ද ගෙන ගොස් දීමට සුදුසු බව ආහුනෙය්‍ය ගුණය ය. මනුෂ්‍යයෝ තමන් වෙත පැමිණෙන දුගී මගී යාචකාදීන්ට අවස්ථාවට සුදුසු පරිදි ආහාරපානාදිය දෙති. එහෙත් ඔවුන් වෙනුවෙන් අමුතුවෙන් ආහාරපානාදිය පිළියෙල කොට ඔවුන් සොයා ඔවුන් සිටින තැන්වලට, දුර ගෙන ගොස් නො දෙති. අමුතුවෙන් පිළියෙල කොට දුරස්ථානයන්ට ගෙන ගොස් ආහාරපානාදිය දෙන්නේ මා පියාදි ගුණවත් අයට හා උසස් අයට ය. සැදැහැවත් මනුෂ්‍යයෝ තමන් අනුභව කරනවාට ද වඩා හොඳින් පිරිසිදු ලෙස ආහාරපානයන් පිළියෙල කොට බොහෝ දුර වෙසෙන භික්ෂූන්ට ද ගෙන ගොස් දෙති. එසේ ගෙන ගොස් දෙන්නේ ශ්‍රාවකසංඝයා කෙරෙහි ඇති ආහුන්‍යෙය ගුණය නිසා ය. දිනපතා හෝ සතියකට මසකට වසරකට වර බැගින් හෝ දෙන නිත්‍යාදානය ද ආහුන නම් වේ. බෞද්ධයෝ නිත්‍යදාන ද භික්ෂූන්ට බොහෝ දෙති. එසේ දෙන්නේ ද ශ්‍රාවක සංඝයාගේ ආහුනෙය්‍ය ගුණය නිසා ය.

21. පාහුනෙය්‍ය ගුණය

දුර සිටින නෑයකු හෝ මිතුරකු හෝ අන් සැලකිය යුත්තකු හෝ තමන් වෙත පැමිණෙන කල්හි මනුෂ්‍යයෝ ඔවුනට සංග්‍රහ කිරීම පිණිස ආහාරපානාදිය පිළියෙල කෙරෙති. එසේ ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ සත්කාරය පාහුන නමි. ඒ පාහුනය ඔවුනට මිස අනිකකුට දීම නුසුදුසු ය. එබැවින් මනුෂ්‍යයෝ පාහුනයක් පිළියෙල කර ගෙන සිටින කල්හි දුගී මගී යාචකාදීන් පැමිණිය ද ඔවුනට නො දෙති. පැවිද්දන් පැමිණිය හොත් ඒ ආගන්තුකයන්ට පිළියෙල කළ දෙය වුව ද දෙති. එසේ දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝයා වහන්සේ පාහුනය වුව ද පිරිනැමීමට සුදුසු වන නිසා ය. සංඝයා වහන්සේ එය පිළිගැනීමට සුදුසු වන්නේ ඒ සත්කාරය ආගන්තුකයන්ට පිරිනැමීමෙන් වන ලාභයට වඩා උසස් අනුහසක් සංඝයාහට පිරිනැමීමෙන් දායකයාට ලැබිය හැකි වන බැවිනි.

22. දක්ඛිණෙය්‍ය ගුණය

පින් පව් හා ඒවායේ විපාක ඇති බව පිළිගන්නා පරලොව ඇති බව පිළිගන්නා නුවණැත්තා වූ මනුෂ්‍යයෝ මේ ජීවිතය තිර නැති බව හා පරලොව යා යුතු බව තේරුම් ගෙන පරලොවදී පිහිට කර ගැනීමට සිල්වත්නට දන් දෙති. එසේ දෙන දානය දක්ඛිණා නම් වේ. ඒ දක්ඛිණාව පිළිගැනීමට සුදුසු වන්නේ, පිරිනැමීමට සුදුසු වන්නේ දානය මහත්ඵල වීමට හේතු වන, දායකයාගේ බලාපොරොත්තුව ඉටු වීමට හේතු වන පුද්ගලයන් ය. ශීල-සමාධි-ප්‍රඥා සංඛ්‍යාත උත්තම ගුණයන් වඩන්නා වූ ද, වඩා අවසන් කර සිටින්නා වූ ද, ලෝභාදි ක්ලේශයන් දුරු කිරීමෙහි යෙදී සිටින්නා වූ ද, දුරු කළා වූ ද පුද්ගලයන්ගෙන් යුත්ක වන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝරත්නය එය පිළිගැනීමට අතිශයින් ම සුදුසු ය. ඒ සංඝරත්නයේ දක්ඛිණෙය්‍ය ගුණය ය. (අරහං ගුණය විස්තර කිරීමෙහි දී ශ්‍රාවකයන්ගේ දක්ෂිණෙය්‍ය භාවයට නිදසුන් වන කථා දක්වා ඇත්තේය.)

ආහුන-පාහුන වශයෙන් දෙන දානයන් හැර පරලොව සැප පතා දෙන්නා වූ ද, පාරමිතා සම්පූර්ණ කිරීම් වශයෙන් දෙන්නා වූ ද, ගුණවත් පුද්ගලයන්ට දීමේ යහපත් බව සලකා දෙන්නා වූ ද, මියගිය ඥාතීන් උදෙසා දෙන්නා වූ ද සියලුම දාන දක්ෂිණාවට ම අයත් ය. ආහුනෙය්‍ය - පාහුනෙය්‍ය - දක්ඛිණෙය්‍ය යන මේ ගුණ තුන දාන නානත්වයෙන් ගුණ තුනක් වශයෙන් දක්වා ඇතිමුත් ධර්ම වශයෙන් එකම ගුණයෙකි. එය නම් දීමනාව මහත්ඵල වීමට හේතුවන ශීලාදී ගුණ සමූහය ය.

23. අඤ්ජලිකරණීය ගුණය

දෝත් නඟා වැඳීමට සුදුසු බව අඤ්ජලිකරණීය ගුණය ය. ලෝකයෙහි දෙවියන්ට ද රජුන්ට ද තවත් උසස් අයට ද භය නිසා ද ලාභ නිසා ද මනුෂ්‍යයෝ දෝත් නඟා වඳිති. ඔවුනට වැඳීමෙන් ලැබිය හැක්කේ අත්‍යල්ප ඵලයකි. සුප්‍රතිපන්නාදි ගුණවලින් යුක්ත බුද්ධශ්‍රාවකයකුට එක් වරක් දෝත් නඟා වැඳීම ම අනන්තඵල දායක ය. එබැවින් ඒ බුද්ධශ්‍රාවකයෝ විශේෂයෙන් අඤ්ජලීකර්මයට සුදුස්සෝ වෙති. එබැවින් සෙස්සන් විසින් වඳින දේවබ්‍රහ්මයෝ ද, රජහු ද, තථාගතශ්‍රාවකයනට වඳිති. කලින් දුටු දුටු මිනිසාට වඳිමින් සිටි සැඩොල් කුලයේ උපන් සුනීතට පැවිදි වීමෙන් පසු දේවබ්‍රහ්මයන් පැමිණ වැන්දේ අඤ්ජලිකරණීය ගුණය නිසා ය. සිල්වත් භික්ෂූන්ට දෝත නඟා වැඳීම තබා ප්‍රසන්න සිතින් උන් වහන්සේලා දෙස බැලීම් මාත්‍රයෙහි ද බොහෝ අනුසස් ඇති බව මංගල සූත්‍ර අටුවාවෙහි මෙසේ දක්වා තිබේ.

“භික්ඛූනං පන පසන්නචිත්තෙන පියචක්ඛූහි දස්සනමූලකෙනා පි පුඤ්ඤෙන අනෙකානි ජාති සහස්සානි චක්ඛුම්භි රොගො වා පිළකා වා වාතපිත්තාදිදොසො වා න හොති. විපස්සන්නපඤ්චවණ්ණ සස්සිරිකානි හොන්ති. චක්ඛුනි රතන විමානෙ උග්ඝාටිත මණිකවාටසදිසානි, සතසහස්ස කප්පමත්තං දෙවෙසු ච මනුස්සෙසු ච සබ්බසම්පත්තීනං ලාභී හොති.”

(සුත්තනිපාතට්ඨකථා 269)

දැකීමෙන් පමණක් නො ව සිල්වත් භික්ෂූන් සිහිකිරීම් මාත්‍රයෙහි ද බොහෝ අනුසස් ඇති බව ආකඞ්ඛෙය්‍ය සූත්‍ර අටුවාවෙහි මෙසේ දක්වා තිබේ.

“යස්ස භී භික්ඛුනො කාලකතො පිතා වා මාතා වා අම්හාකං ඤාතකො ථෙරො සීලවා කල්‍යාණධම්මොති පසන්නචිත්තො හුත්වා තං භික්ඛුං අනුස්සරති: තස්ස සො චිත්තපසාදො පි තං අනුස්සරණමත්තම්පි මහප්ඵලං මහානිසංසමෙව හොති, අනෙකානි කප්පසහස්සානි දුග්ගතිතො වාරෙතුං අන්තෙ ච අමතං පාපෙතුං සමත්ථමෙව හොති.”

(පපඤ්ච සූදනි 130)

24. අනුත්තරපුඤ්ඤක්ඛෙත්ත ගුණය

ඛෙත්ත යනු ගොයම් වැඩෙන තැනය. කෙත යනු ද කුඹුර යනු ද එයට සිංහලෙන් කියන නම් ය. පින් වැඩෙන තැන් වන බැවින් ප්‍රතිග්‍රාහකයන්ට ද “කෙතය” යන නම කියනු ලැබේ. අනුත්තරපුඤ්ඤක්ඛෙත්ත යන්නෙහි තේරුම එයට වඩා උතුම් අන් කෙතක් නැති, සියල්ලටම උතුම් පින් කෙතය යනුයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකසංඝ රත්නය, සියලු පින් කෙත්වලට උතුම් පින් කෙත වන බැවින් අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත නම් වේ.

කෙත් අතර, ගොවියා බොහෝ වෙහෙසී බොහෝ ධාන්‍ය වපුළ ද මඳ ඵලයක් ම ලැබෙන, සමහර විට ඵලයක් නො ලැබීම ද යන, නිසරු කෙත් ද ඇත්තේ ය. මධ්‍යම ප්‍රමාණයෙන් ඵල ලැබෙන කෙත් ද ඇත්තේ ය. ස්වල්ප වපුළ ද බොහෝ ධාන්‍ය ලැබෙන, ඉතා සරු කෙත් ද ඇත්තේ ය. එමෙන් ප්‍රතිග්‍රාහකයන් අතර ද සත්කාර කළවුන්ට ඉතා මඳ ඵලයක් ම ලැබෙන, සමහර විට ඵලයක් නො ලැබී ම යන ගුණහීන ප්‍රතිග්‍රාහකයෝ ද ඇත්තාහ. මධ්‍යම ප්‍රමාණයෙන් ඵල ලැබෙන පුද්ගලයෝ ද ඇත්තාහ. ඉතා සුළු සත්කාරයන් කළ ද අනන්ත ඵල ලැබෙන සමහර විට වර්තමාන ජාතියේ ම ඵලය ලැබෙන ඉතා ගුණවත් ප්‍රතිග්‍රාහකයෝ ද ඇත්තාහ. ප්‍රතිග්‍රාහකයන්ගේ තත්ත්වය අනුව සත්කාරකළවුන්ට ඵල ලැබීමේ වෙනස් කම් තේරුම් ගැනීමට අංකුර - ඉන්දක දෙව්පුත් දෙදෙනාගේ කථාව නිදසුනෙකි.

අංකුර - ඉන්දික දෙව්පුතුන්ගේ කථාව

අප තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදු වී සත්වන වසරෙහි සැවැත්නුවර සමීපයෙහි ගණ්ඩම්බමූලයේ තීර්ථකමථනය පිණිස යමක ප්‍රාතිහාර්‍ය්‍යය දක්වා, පෙර බුදුවරුන්ගේ චාරිත්‍ර ධර්මය අනුව වස් එළඹීම සදහා තවතිසා දෙව්ලොවට වැඩ වදාළ සේක. උන් වහන්සේ එහි පාණ්ඩුකම්බල ශෛලාසනය මත සකල දේවබ්‍රහ්මයන්ගේ තේජස ඉක්මවා ශෝභාව ඉක්මවා ළහිරුමඬලක් සේ වැඩ වෙසෙන කල්හි තුසිතදිව්‍ය ලෝකයෙහි විසූ සන්තුෂිත නම් වූ මාතෘදිව්‍යරාජයා පැමිණ විජම්බණ අසනු පිණිස තථාගතයන් වහන්සේගේ දකුණු පස ම හිඳ ගත්තේ ය. ඉන්දක නම් දේවපුත්‍රයාද එකෙණෙහිම පැමිණ තථාගතයන් වහන්සේගේ දකුණු පසම හිඳ ගත්තේ ය. අංකුර නම් වූ දේවපුත්‍රයා ද පැමිණ තථාගතයන් වහන්සේගේ වම් පස ඉඳගත්තේ ය. බුදුරදුන් එහි වැඩම කළ බව සැලවීමෙන් දසදහසක් සක්වළින් ම මහේශාක්‍ය දේව බ්‍රහ්මයන් පැමිණෙන්නට විය. අංකුර අල්පේශාක්‍ය බැවින් මහේශාක්‍යයන් පැමිණෙන කල්හි ඔහුට පසුබසින්නට සිදු විය. ක්‍රමයෙන් පසු බැස ගියා වූ අංකුර දෙව්පුත්හට බුදුරදුන්ගෙන් දොළොස් යොදුනක් දුරින් සිටින්නට විය. ඉන්දක දෙව්පුත් නො සැලී තමා සිටි තැන ම සිටියේ ය. ඒ දෙදෙනාගෙන් අංකුර දේවපුත්‍ර තෙමේ අතීතයේ අබුද්ධෝත්පාද කාලයේ රජකුලයෙහි ඉපද රජය හැර වෙළදාමට බැස බොහෝ ධනය උපයා එකල විසූ ජනයාට දීර්ඝකාලයක් මුළුල්ලෙහි දන් දුන් කෙනෙකි. දිනපතා ම දන් දුන් කෙනෙකි. ආහාරපාන පමණක් නොව මිනිසුන්ට වුවමනා ඇදුම් පැළඳුම් කුඩ - පාවහන් රිය ආදි සියල්ල ම දුන් කෙනෙකි. බොහෝ දුන් කෙනෙකි. ඉන්දක දෙව්පුත් අප බුදුරදුන්ගේ කාලයෙහි මිනිස් ලොව ඉපද සිට පිඬු සිඟා වඩනා අනුරුදු තෙරුන් වහන්සේ දැක පැහැදී උන් වහන්සේට බත් සැන්දක් දෙවීය. ඔහුගේ පින එපමණකි. ඔහුගේ අත්‍යල්ප දානය දුන්නේ සකලක්ලේශයන් ප්‍රහාණය කොට අර්හත්වයට පැමිණ සිටි උත්තම ප්‍රතිග්‍රාහකයකුට බැවින් ඔහු ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව මහේශාක්‍ය දෙවියෙක් විය. අංකුරගේ මහාදානය දුන්නේ ගුණයෙන් හීන පුද්ගලයන්ට ය. එබැවින් ඔහු තව්තිසා දෙව්ලොව අල්පේශාක්‍ය දෙවියෙක් විය.

පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්පුතුන් දෙදෙනාගේ වෙනස දැක වදාරා දක්ෂිණාර්හ පුද්ගලයන්ගේ තතු ලොවට පහදා දීම සඳහා අංකුර දෙව්පුත් දෙස බලා වදාරා “අංකුරය, නුඹ හා එකවර මෙහි පැමිණි ඉන්දක දෙව්පුත් මා සමීපයෙහිම සිටින්නේ ය. නුඹ අතීතයේ මහාදානයන් දුන් කෙනෙක. එහෙත් දැනට බොහෝ දුරට පසු බැස සිටින්නෙහි ය. මා සමීපයට එව”යි වදාළහ. එකල්හි අංකුරදෙව්පුත් තෙමේ “භාග්‍යවතුන් වහන්ස, දක්ෂිණාර්හයන්ගෙන් හිස් වූ මාගේ ඒ දානයෙන් කවර ඵලයක් ද? මේ ඉන්දක දෙව්පුත් දුන්නේ සුළු දානයෙකි. එහෙත් ඔහු තාරකා සමූහය මැද බබලන සඳ මෙන් අප ඉක්මවා බබලන්නේය”යි සැල කෙළේ ය. ඉක්බිති දක්ඛිණෙය්‍යයන් විභාග කරමින් තථාගතයන් වහන්සේ මෙසේ දහම් දෙසු සේක.

“උජ්ජඞ්ගලෙ යථා ඛෙත්තෙ
බීජං බහුකම්පි රොපිතං,
න ඵලං විපුලං හොති
න පි තොසෙති කස්සකං,

.

තථෙව දානං බහුකං - දුස්සීලෙසු පතිට්ඨීතං
න විපුලං ඵලං හොති - න පි තොසෙති දායකං,

.

යථාපි භද්දකෙ ඛෙත්තේ
බීජං අප්පම්පි රොපිතං
සම්මාධාරං පවෙච්ඡෙන්තෙ
ඵලං තොසෙති කස්සකං

.

තථෙව සීලවන්තෙසු - ගුණවන්තෙසු තාදිසුං
අප්පකම්පි කතං කාරං - පුඤ්ඤං හොති මහප්ඵලං.”

තේරුම:-

යම් සේ තද මැටි ඇති නිසරු කුඹුරෙහි වපුළ බොහෝ වූද ධාන්‍යය බොහෝ ඵල දෙන්නේ නො වේ ද, ගොවියා සතුටු නො කරවා ද, එමෙන් දුශ්ශීලයන් කෙරෙහි පිහිටියා වූ මහත් වූද දානය මහත්ඵල නො දන්නේ ය. දායකයා සතුටු නොකරවන්නේ ය.

යම් සේ යහපත් කුඹුරෙහි වපුළ මඳ වූ ද විය මැනවින් වර්ෂාපතනය වන කල්හි ඵල ගෙන දීමෙන් ගොවියා සතුටු කෙරේ ද, එමෙන් තාදිගුණයෙන් යුක්ත වූ සිල්වත් වූ ගුණවත් වූ පුද්ගලයන් හට කළ අල්ප වූ ද සත්කාරය මහත්ඵල වන්නේ ය.

“විචෙය්‍ය දානං දාතබ්බං
යත්ථ දින්නං මහප්ඵලං
විචෙය්‍ය දානං දත්වාන
සග්ගං ගච්ඡන්ති දායකා.”

තේරුම:-

යම් තැනකට දීම මහත්ඵල ද නුවණින් විමසා සුදුසු තැන සොයා දන් දිය යුතු ය. විමසා සුදුසු තැන් සොයා දන් දී දායකයෝ ස්වර්ගයට යෙති.

“විචෙය්‍ය දානං සුගතප්පසත්ථං
යෙ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ,
එතෙසු දින්නානි මහප්ඵලානී
බීජානි වුත්ථානි යථා සුඛෙත්තෙ.”

තේරුම:-

මේ ලෝකයෙහි යමෙක් දක්ෂිණාර්හයෝ වෙත් ද, ඔවුන් සොයා දන් දීම තථාගතයන් වහන්සේ විසින් පසස්නා ලද්දේ ය. සරු කෙතෙහි වපුළ බීජය බොහෝ ඵල දෙන්නාක් මෙන් ඔවුන්ට දුන් දෙය මහත්ඵල වන්නේ ය.

මෙසේ දාන විභාගය වදාරා අවසානයේ දී චතුස්සත්‍යයන් ප්‍රකාශ කොට දේශනය අවසන් කළ සේක. ඒ දේශනය ඇසීමෙන් අංකුර - ඉන්දක දෙව්පුත් දෙදෙනා සෝවාන් ඵලයට පැමිණියෝ ය. තවත් කෝටි ගණනක් සත්ත්වයනට ද ධර්මාවබෝධය විය.

(පේතවත්ථු අට්ඨකථා)

දුසිල් බව, කෙලෙස් බහුල බව, මෛත්‍රීකරුණාදී ගුණ නැති බව, සත්කාරය මහත්ඵල නො වීමේ හේතුය. ප්‍රතිග්‍රාහකයා කෙරෙහි සිල් ඇති බව, ධුත ගුණ ඇති බව, කෙලෙස් නැති බව, කෙළෙස් මඳ බව, මෛත්‍රීකරුණාදි සද්ගුණ ඇති බව, සත්කාරය මහත්ඵල වීමේ හේතුය. එබඳු ගුණවලින් යුක්ත පුද්ගලයෝ සරු කුඹුරු වැන්නෝ ය. ආහුනෙය්‍ය පාහුනෙය්‍ය දක්ඛිණෙය්‍ය අඤ්ජලිකරණීය අනුත්තරපුඤ්ඤඛෙත්ත යන මේ ගුණ පස ඇතියවුන් ලෙස බොහෝ සූත්‍රවල වදාරා තිබෙන්නේ සකලක්ලේශයන් ප්‍රහාණය කළ රහතුන් ය. අංගුත්තරනිකායේ තිකකිපාතයේ සූත්‍ර දෙකක සෝවාන්-සකෘදාගාමී-අනාගාමී පුද්ගලයන් ද ආහුනෙය්‍යාදි ගුණපස ඇතියවුන් ලෙස වදාරා ඇත්තේ ය. අංගුත්තරනිකායේ නවක නිපාතයේ සම්බෝධවග්ගයේ අවසාන සූත්‍රයෙහි ආහුනෙය්‍යාදි ගුණ ඇති පුද්ගලයන් නවදෙනෙකු වදාරා තිබේ. ඒ සූත්‍රයෙහි නවවන පුද්ගලයා වදාරා ඇත්තේ “ගෝත්‍රභූ” යන නාමයෙනි. එයින් අදහස් වන්නේ සෝවාන් මාර්ගයට පූර්වභාගයෙහි ඇති වන ගෝත්‍රභූ චික්තක්ෂණයේ සිටින දියුණු තියුණු විදර්ශනාව ඇති පෘථග්ජන පුද්ගලයා ය. සංඝරත්නයට අයත්වීම් වශයෙන් පෘථග්ජන භික්ෂූන් ද ආහුනෙය්‍යාදි ගුණ ඇතියවුන් වන බව කිය යුතු ය. එය තථාගතයන් වහන්සේගේ ආඥාවේ ආනුභාවයෙන් වන විශේෂ සිද්ධියකි. පෘථග්ජන මහලු භික්ෂුව විසින් නවක අර්හත්භික්ෂුවට නො වැඳිය යුත්තේ ද, නවක අර්හත්භික්ෂුව විසින් පෘථග්ජන මහලු භික්ෂුවට වැඳිය යුත්තේ ද ඒ නිසාය. මේවා ගැඹුරු කරුණු ය.

ශීල-සමාධි-ප්‍රඥාවලින් අඩු වූද, යම් කිසි භික්ෂුවක් මෛත්‍රී භාවනාව මුත් කරනවා නම් එයින් ද ඒ භික්ෂුව තමාට කරන සත්කාරය මහත්ඵල කිරීමට සමත් පුද්ගලයකු වන බව අච්ඡරාසංඝාතමත්තම්පි මෙත්තං ආසෙවන්තස්ස භික්ඛුනො දින්නං දානං මහා විප්ඵාරං” යන මනෝරථපූරණී අටුවා පාඨය අනුව කිය යුතුයි. සියලුම රහත්හු සකලක්ලේශයන්ගෙන් පිරිසිදුව වෙසෙන බැවින් දක්ෂිණාර්හයෝ ය. එහෙත් තථාගතයන් වහන්සේ විසින් “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං දක්ඛිණෙය්‍යානං යදිදං සුභූති” යනුවෙන් සුභූති ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් දක්ෂිණාර්හයන්ගෙන් අග්‍රය යි වදාරා ඇත්තේ ය. ශාරිපුත්‍රාදි බොහෝ දෙනා වහන්සේ අර්හත්වයට පැමිණ දක්ෂිණාර්හයන්ව සිටියදී සුභූති තෙරුන් දක්ෂිණාර්හයන්ගෙන් අග්‍රයයි වදාළේ උන් වහන්සේ සෙසු රහතුන්ට වඩා මෛත්‍රී ගුණය ඇතියකු වන බැවිනි. උන් වහන්සේ පිඬු සිඟා වඩනා කල්හි “තමන් වහන්සේට දෙන පිණ්ඩපාතය මහත්ඵල වේවා”යි ගෙදොරක් පාසා මෛත්‍රී ධ්‍යානයට සමවැද ඉන් නැඟී පිණ්ඩපාතය පිළිගනිති. සෙසු රහත්හු එසේ නො කරති. එබැවින් සුභූති තෙරුන් වහන්සේ දක්ෂිණාර්හ ශ්‍රාවකයන් අතරින් අග්‍ර වූහ.

“අනුත්තරපුඤ්ඤක්ඛෙත්ත ගුණය” විභාග කොට තේරුම් ගත යුත්තකි. මේ සස්නෙහි සෑම දෙන ම පුණ්‍යක්ෂේත්‍ර භාවයෙන් සමාන නො වෙති. පෞද්ගලික වශයෙන් පුණ්‍යක්ෂේත්‍රභාවය කියතහොත් පෘථග්ජන සිල්වත් භික්ෂුවට වඩා සෝවාන් පුද්ගලයා උසස් පුණ්‍යක්ෂේත්‍රයෙකි. සෝවාන් පුද්ගලයාට වඩා සකෘදාගාමී පුද්ගලයා උසස් පුණ්‍යක්ෂේත්‍රයෙකි. සකෘදාගාමී පුද්ගලයාට වඩා අනාගාමී පුද්ගලයා උසස් පුණ්‍යක්ෂේත්‍රයෙකි. මෙසේ පුණ්‍යක්ෂේත්‍ර භාවයෙන් නානත්වයක් තිබියදී සැම දෙනා ම අනුත්තරපුණ්‍යක්ෂේත්‍ර වශයෙන් වදාරා තිබෙන්නේ, ඒ පුද්ගලයන්ට වඩා උසස් පුණ්‍යක්ෂේත්‍ර වන පුද්ගලයන් බුදුසස්නෙන් පිටත අන් සසුනක නැති බැවිනි. පෘථග්ජන සිල්වත් භික්ෂුවට වඩා ද වැඩි උසස් පුණ්‍යක්ෂේත්‍රයක් බුදුසස්නෙන් පිටත නැති බැවින් උන්වහන්සේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයකැයි කියනු ලැබේ.

සංඝරත්නය යි කියනුයේ බුදුරජාණන් වහන්සේගෙන් පළමුවෙන් ම පැවිද්ද හා උපසම්පදාව ලැබූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේගේ පටන් අද දක්වා ම ලෝකයෙහි නා නා රටවල නා නා දිශාවල නා නා ජාති නා නා කුලවලින් බුදුසස්නෙහි පැවිද්ද හා උපසම්පදාව ලබා සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වූ මහා පුද්ගල සමූහයා ය. තනි තනිව බැලුව ද ආහුනෙය්‍ය-පාහුනෙය්‍ය-දක්ඛිණෙය්‍ය-අඤ්ජලිකරණීය-අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත යන ගුණවලින් සම්පූර්ණ වූ බොහෝ පුද්ගලයෝ ඒ සංඝ රත්නයට අයත් වන්නාහ. එබැවින් ඒ සංඝරත්නය මහාපුණ්‍යක්ෂේත්‍රය වන්නේ ය. අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය වන්නේය. සැදැහැවතුන් කරන පූජාසත්කාරයන් මහත්ඵල නො වීමට හේතු වන දුසිල් බව නමැති දුර්ගුණය ද සංඝරත්නයෙහි නැත. එබැවින් සංඝ රත්නය අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය වේ. සංඝයා හට එක් වී සිටින සංඝයා මෙන් පෙනී සිටන ශ්‍රමණ දුශ්ශීලයන් ඇති බව සත්‍යයෙකි. එහෙත් ඒ දුශ්ශීලයෝ සංඝරත්නය නො වෙති. එහෙයින් දක්ෂිණා විහංගසුත්‍ර අටුවාවෙහි “දුස්සීලො සංඝන්ති න වුත්තො, සංඝො හි දුස්සීලො නාම නත්ථී”යි කීහ. යම් කිසි සැදැහැවතකු විසින් සංඝරත්නය උදෙසා පූජා කළ වස්තුන් දුශ්ශීල පිරිසක් සංඝයා වශයෙන් පෙනී සිට පිළිගෙන පරිභෝග කළ ද එයින් දායකයාගේ පිනට හානියක් නො වන්නේ, පරිභෝගය දුශ්ශීලයන් විසින් කළ ද පූජාව සාරිපුත්‍ර මෞද්ගල්‍යානාදි මහරහතුන් සහිත මහාසංඝරත්නයට පැමිණි බැවිනි. සංඝයා උදෙසා පිරිනමන දානය කවුරුත් පරිභෝග කළ ද දායකයාට පුණ්‍යාහානියක් නො වන බැවින් දක්ෂිණාවිභංගසුත්‍රයෙහි මෙසේ වදාරා ඇත්තේ ය.

“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමාද්ධානං ගොත්‍රභූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා තෙසු දුස්සීලෙසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති, තදාපාහං ආනන්ද සංඝගතං දක්ඛිණං අසංඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි.”

“ආනන්දය, අනාගත කාලයේ දී ශ්‍රාවක සංඝ නාමයෙන් පෙනී සිටින්නා වූ ගෙළෙහි හෝ අතෙහි කහරෙදි කඩක් දරන්නා වූ දුශ්ශීල පාපී පුද්ගලයෝ ඇති වන්නාහ, එකල සැදැහැවත්හු ඔවුනට ද සංඝයා උදෙසා දන් දෙන්නාහ, ආනන්දය, එකල්හි ද මම සංඝගතදක්ෂිණාව අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය අනුසස් ඇත්තේයි කියමිය” යනු එහි තේරුමය.

කෙලෙස් ඇත්තේ ද පුද්ගලයන්ට ය. පුද්ගලයන්ට ඇත්තාවූ රාගාදි කෙලෙස් සංඝ රත්නයට නැත. එබැවින් සංඝරත්නය කෙලෙසුන්ගෙන් ද පවිත්‍රය. සමීපයෙහි බොරලු තිබීමෙන් මාණික්‍ය රත්නයක අගය අඩු නො වන්නාක් මෙන් දුශ්ශීල පුද්ගලයන් හා කෙලෙස් බහුල පුද්ගලයන් එක් වී සිටීමෙන් සංඝරත්නයේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රභාවයට හානියක් නොවේ. සංඝරත්නය සැම කල්හි නිර්මලය. එබැවින් බුදුසස්න පවත්නා තෙක් අනුත්තරපුණ්‍යක්ෂේත්‍රයක් වශයෙන් ම පවත්නේය.

ආර්‍ය්‍යපුද්ගල විභාගය

සතරමාර්ග සතරඵලයන්ට පැමිණ සත්‍යාවබෝධය කොට අපායෙන් මිදී නිවන් පසක් කොට සිටින උත්තම පුද්ගලයෝ ආර්‍ය්‍ය පුද්ගලයෝ නම් වෙති. ආර්‍ය්‍ය පුද්ගලයන් ඇත්තේ බුදුසස්නෙහිය. බුදු සස්නෙන් පිටත ආර්‍ය්‍යපුද්ගලයෝ නැත්තාහ. “ඉධෙව සුභද්ද සමණො ඉධ දුතියො සමණො ඉධ තතියො සමණො ඉධ චතුත්ථො සමණො සඤ්ඤා පරප්පවාද සමණෙහි අඤ්ඤෙ” යනුවෙන් මහපිරිනිවන් සුතුරෙහි ප්‍රථම ශ්‍රමණයාය, ද්විතීය ශ්‍රමණයාය, තෘතීය ශ්‍රමණයාය, චතුර්ථ ශ්‍රමණයාය යන නම් වලින් බුදුසස්නෙහි ශ්‍රමණයන් සතර දෙනෙක් ඇති බව වදාරා ඇත්තේය. ශ්‍රෝතාපන්න පුද්ගලයාය, සකෘදාගාමී පුද්ගලයාය, අනාගාමී පුද්ගලයා ය, අරහත් පුද්ගලයාය යන නම් ව්‍යවහාර කරන්නේ ඒ පුද්ගලයන් සතර දෙනාට ය. ඒ සතර දෙන ආර්‍ය්‍ය පුද්ගලයෝ ය. මාර්ගඵල භේදයෙන් ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙනෙක් වෙති.

  1. ශ්‍රෝතාපත්ති මාර්ගස්ථ පුද්ගලයා ය,
  2. ශ්‍රෝතාපත්ති ඵලස්ථ පුද්ගලයා ය,
  3. සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය,
  4. සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා ය,
  5. අනාගාමී මාර්ගස්ථ පුද්ගලයා ය,
  6. අනාගාමී ඵලස්ථ පුද්ගලයා ය,
  7. අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය,
  8. අර්හත් ඵලස්ථ පුද්ගලයා ය.

යන මොවුහු ආර්‍ය්‍යපුද්ගලයෝ අට දෙනය. මාර්ගස්ථ පුද්ගලයා ය කියනුයේ ලෝකෝත්තර මාර්ග සිත් අතුරෙන් යම් කිසි සිතකින් ඉන්නා පුද්ගලයා ය. එක් පුද්ගලයකුට එක් මාර්ග සිතක් ඇති වන්නේ එක් වරක් පමණකි. මාර්ග සිත් වනාහි අන් සිත් මෙන් එක් පුද්ගල සන්තානයනක නැවත නැවත උපදනා සිත් කොටසක් නොවේ. සිතක පවත්නා කාලය ඉතා කෙටි කාලයෙකි. එබැවින් යම් කිසි පුද්ගලයකු මාර්ගස්ථ පුද්ගලයකු වශයෙන් ඉන්නා කාලය ඇසිපිය හෙලීමට ගතවන කාලයට ද වඩා කෙටි වූ ඉතාම කෙටි කාලයෙකි. ලෝකෝත්තතර මාර්ගචිත්තය ඉපද නිරුද්ධ වනු සමඟ ම අතර හිස්කාලයක් නො තබා එකෙණෙහි ම ලෝකෝත්තර ඵලචිත්තය ඇති වේ. ඵලචිත්තය ඇති වීමෙන් පුද්ගලයා ඵලස්ථ පුද්ගලයෙක් වන්නේ ය. මාර්ගස්ථ පුද්ගලයාගේ කාලය ඉතා කෙටි බැවින් ලෝකයෙහි ආර්‍ය්‍යපුද්ගලයන් වශයෙන් සිටින්නවුන් ඵලස්ථ පුද්ගලයන් බව කිය යුතුය.

ශ්‍රෝතාපන්න පුද්ගලයා

“තිණ්ණං සංයොජනානං පහාණාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො, යස්ස පුද්ගලස්ස තීණි සංයොජනානි පහීණානි අයං වුච්චති පුග්ගලො සොතාපන්නො,”

(පුග්ගලපඤ්ඤන්ති)

“සංයෝජන තුනක් ප්‍රහාණය කිරීම සඳහා පිළිපන් පුද්ගලයා ශ්‍රෝතාපත්තිඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන්නේ වේ. යම් පුද්ගලයකුට සංයෝජනත්‍රය ප්‍රහීණ ද ඒ පුද්ගලයා ශ්‍රෝතාපන්නය යයි කියනු ලැබේය” යනු එහි තේරුම ය. එහි කියවුණු සංයෝජන තුන නම් සක්කායදිට්ඨී - විචිකිච්ඡා - සීලබ්බතපරාමාස යන මේ අකුශල ධර්ම තුන ය. නැවත නැවතත් සත්ත්වයා සංසාරයෙහි යොදවන බැවින් ඒවාට සංයෝජනය යි කියනු ලැබේ. ඒවාට සත්ත්වයා සංසාරෙයෙහි බැඳ තබන රැහැන්ය යි කීම ද සුදුසු ය.

ආත්ම නො වන, මම නො වන සත්ත්වපුද්ගල නො වන, රූප - වේදනා -සඤ්ඤා - සංඛාර - විඤ්ඤාණ යන ස්කන්ධවලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ල ම හෝ මම ය, ආත්ම ය, සත්ත්වයා ය, පුද්ගලයා ය කියා ස්ථීර වශයෙන් පිළිගැනීම ස්ථීර වශයෙන් සැලකීම සක්කායදිට්ඨිය ය.

කරුණු අටක් සම්බන්ධයෙන් ඇති වන්නා වූ සැකය විචිකිච්ඡා සංයෝජනය ය. අන් කිසිවකුට නැතිව එක් පුද්ගලයකුට පමණක් සියල්ල දැනෙන නුවණක් ඇති විය හැකි ද? අන් කිසිවකුට නැති ආනුභාවයක් එක් පුද්ගලයකුට පමණක් ඇති විය හැකි ද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අශීත්‍යනුව්‍යඤ්ජන ලක්ෂණ කේතුමාලා ව්‍යාමප්‍රභා ඇති පුරුෂයකු විය හැකි ද? නැත ද? කියා බුදුරදුන් ගැන සැක පහළ වේ. ක්ලේශයන් ප්‍රහාණය කිරීමට සමත් ආර්‍ය්‍යඵල සතරක් ඇත ද? කෙලෙස් සන්සිඳවන ආර්‍ය්‍යඵල සතරක් ඇත ද? දුකින් තොර නිවනක් ඇති ද? තථාගතයන් වහන්සේ වදාළ ධර්මය නෛර්‍ය්‍යාණික ද? සත්‍ය ද? කියා ධර්මය කෙරෙහි සැක පහළ වේ. සතරමාර්ග සතරඵලයන්හි පිහිටි ආර්‍ය්‍යසංඝරත්නයක් ඇත්තේ ද? මේ සංඝයා සුප්‍රතිපන්න වූ පිරිසක් ද? සංඝයාට දී එයින් ඉෂ්ට විපාකයක් ලැබිය හැකියද? කියා සංඝරත්නය සම්බන්ධයෙන් සැක පහළ වේ. ශීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාත්‍රයෙන් පලක් ඇත ද? නැත ද? කියා සැක ඇති වේ. මම අතීතයෙහිත් වූයෙම් ද? නැත ද? කියා අතීතය පිළිබඳව සැක ඇති වේ. මම අනාගතයෙහි උපදින්නෙම් ද? නැත ද? කියා ආනාගතය සම්බන්ධයෙන් සැක ඇති වේ. අතීතානාගත දෙක ම පිළිබඳව ද සැක පහළ වේ. අවිද්‍යාදි හේතූන්ගෙන් සංස්කාරාදි ඵලධර්ම හට ගැනීම් වශයෙන් සංසාර ප්‍රවෘත්තිය ඇති බව පිළිබඳව සැක පහළ වේ. මේ සැක සියල්ල විචිකිච්ඡා සංයෝජනය යි.

සීලබ්බතපරාමාස සංයෝජනය යනු ගෝශීලගෝව්‍රතාදී මිත්‍යා ශීලව්‍රත සමාදානයෙන් ඒවා පිරීමෙන් පව් අවසන් කොට ශුද්ධියට පැමිණ දුකින් මිදිය හැකිය, පරම සුඛයට පැමිණිය හැකිය යන දෘෂ්ටිය ය.

මේ සංයෝජන තුන පමණක් නොව අපායෝත්පත්තියට හේතුවන තරමට ඖදාරික වූ සකල ක්ලේශයෝ ම සෝවාන් පුද්ගලයාහට ප්‍රහීණයහ. සෝවාන් වීමෙන් පසු ඔහු අතින් සිදු වෙතොත් සිදු වන්නේ අපායට පැමිණිවීමට තරම් ශක්තියක් නැති කාමසුඛාස්වාදනාදි කුඩා පාපයන් පමණෙකි. එබැවින් සෝවාන් පුද්ගලයා නැවත කිසි කලෙක අපායට නො යන්නේ ය. ඔහුගේ සම්‍යග්දෘෂ්ට්‍යාදි කුශල පාක්ෂික ධර්මයෝ නැවත නො පිරිහෙති. ඔවුහු වැඩෙන පක්ෂයෙහි පවත්නාහු වෙති. එබැවින් සෝවාන් වූ ආර්‍ය්‍ය පුද්ගලයා වැරදීමක් නැතිව ම යම්කිසි දිනයක සියලු කෙලෙසුන් නසා අර්හත්ඵලයට පැමිණ දුක් කෙළවර කරන්නේ ය.

ගෘහස්ථ සෝවාන් ආර්‍ය්‍යශ්‍රාවකයෝ පෘථග්ජනයන් සේ ම දූ දරුවන් පෝෂණය කරමින් වෙළදාම ගොවිකම් ආදි නොයෙක් රැකියාවන් කරමින් සමාජයෙහි හැසිරෙති. පැවිදි වූ සෝවාන් ආර්‍ය්‍යශ්‍රාවකයෝ ද අන්‍ය පැවිදිදන් මෙන් ම පැවිදි සමාජයෙහි හැසිරෙති. ඔවුන් සෙස්සන්ගෙන් වෙන් කොට හැඳින ගත හැකි වීමට ලකුණුක් නැත්තේ ය. එහෙත් සෝවාන් පුද්ගලයන්ට පෘථග්ජනයන්ට නැති අංග සතරතක් ඇත්තේය. ඒවා සෝතාපත්තිසංයුත්තයේ මෙසේ වදාරා ඇත.

“චතුහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආරියසාවකො සොතාපන්නො හොති, අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො, කතමෙහි චතුහි?

ඉධ භික්ඛවෙ ආරියසාවකො බුද්ධො අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති, “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසධම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධො භගවා ති”,

ධම්මො අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති, “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති,

සංඝො අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති “සුපටිපන්නො භගවතො සාවකසංඝො උජුපටිපන්නො භගවතො සාවකසංඝො ඤායපටිපන්නො භගවතො සාවකසංඝො සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක්ඛිණෙය්‍යා අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.

අරියකන්තෙහි සීලෙති සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භූජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධි සංවත්තනිකෙහි.

ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති”

(සංයුක්ත 1019)

තේරුම:-

“මහණෙනි, අංග සතරකින් යුක්ත වන ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ආර්‍ය්‍යමාර්ගසංඛ්‍යාත ධර්මශ්‍රෝතසට පැමිණියේ වේ. මතු සතර අපායට නො වැටෙන ස්වභාව ඇත්තේ වේ. ධර්මනියාමයෙන් නියත වූයේ වේ. මතු මාර්ගත්‍රයට ඒකාන්තයෙන් පැමිණෙන්නේ වේ.

කවර චතුරාංගයකින් ද යත්?

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “මේ කාරණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණයන්ගෙන් යුක්තය හ, යහපත් ගමන් ඇත්තාහ, ලෝකය දත්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථීයහ. දෙවිමිනිසුන්ට ශාස්තෘයහ, බුද්ධයහ, භාග්‍යවත්හ”යි මෙසේ බුදුරදුන් කෙරෙහි නො සැලෙන නො වෙනස් වන පැහැදීමක් ඇත්තේ වේ.

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ධර්මය යහපත්ය. තමන්ට ම ප්‍රත්‍යක්ෂ කර ගත හැකියක, කල් නො යවා ඵල දැකිය හැකියක, එව බලව යි කියා ගුණය දැක්විය හැකියක, සිත් සතන්හි එළවිය යුත්තක, නුවණැතියන්ට තමන්ගේ සන්තානයෙන් ම දත හැකියක කියා ධර්මය කෙරෙහි නො සැලෙන නො වෙනස් වන පැහැදීමක් ඇත්තේ වේ.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝයා වහන්සේ සුප්‍රතිපන්නයහ. ඍජුව පිළිපන්නහ. නිවන් ලැබෙන පිළිවෙතක් පුරන්නාහ. ගරුබුහුමනට සුදුසු වන සේ පිළිපන්හ. යම් ඒ පුරුෂයුග්ම සතරක් වූ පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රාවකසංඝයා වහන්සේ දුර සිට ගෙනවුත් පිරිනමන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වන්නාහ. ආගන්තුකයන් උදෙසා පිළියළ කල සත්කාරය පිළිගැනුමට සුදුසු වන්නාහ. සැදැහැවතුන් විසින් කම්පල අදහා පිරිනමන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වන්නාහ. ලෝකයට උතුම් පින් කෙත වන්නාහ. මෙසේ සංඝයා කෙරෙහි නො සැලෙන නො වෙනස් වන පැහැදීම ඇත්තේ වේ.

කඩ නො වූ සිදුරු නො වූ පිළිවෙළින් සිකපද ගණනක් නො බිඳුනා වූ තැනින් තැන සිකපද නො බිඳුනා වූ තෘෂ්ණා දාසත්වයෙන් මිදුණා වූ නුවණැතියන් විසින් පසස්නා වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුක්ත වූයේ වේ.

මහණෙනි, මේ අංග සතරින් යුක්ත වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ආර්‍ය්‍යමාර්ගසංඛ්‍යාත ශ්‍රෝතසට පැමිණියා වූ මතු සතර අපායෙහි නො වැටෙන්නා වූ ධර්මනියාමයෙන් නියත වූ මතු මාර්ගත්‍රයට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ පුද්ගලයෙක් වන්නේ ය.

කොටින් කියතහොත් බුදුන් කෙරෙහි නො වෙනස් වන පැහැදීම ඇති බවය, ධර්මය කෙරෙහි නො වෙනස් වන පැහැදීම ඇති බවය, සංඝයා කෙරෙහි නො වෙනස් වන පැහැදීම ඇති බවය, නො කැලැල් ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වන බවය යන මේ කරුණු සතර සෝවාන් පුද්ගලයාගේ අංගයෝ ය.

මේ අංග සතර ආර්‍ය්‍යන්ට මිස පෘථග්ජන පුද්ගලයන්ට නැත්තේ ය. පෘථග්ජන පුද්ගලයා රත්නත්‍රයට දිවි පුදන තරමේ සැදැහැවතකු වී සිටිය ද ඔහු වෙනස් නොවන ස්ථීර පුද්ගලයෙක් නො වේ. සමහර විට ඔහු රත්නත්‍රය හැර අන්‍යශාස්තෲවරයකුගේ පිහිට සොයන්නෙක් වන්නේ ය. එක් භවයක රත්නත්‍රය පිළිගෙන සිටිය ද අන් භවයකදී ඔහු මිසදිටුවකු විය හැකි ය. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ වර්තමාන භවයෙහි තබා භවාන්තරයෙහි ද රත්නත්‍රය නො හරනේ ය. පෘථග්ජනයා කෙතරම් උග්‍ර සිල්වතකු වුව ද ඔහුගේ ශීලය අස්ථීර ය. සමහර විට ඔහු කලකදී දුශ්ශීල වන්නේ ය. පැවිදිව ධ්‍යානාභිඥා ලබා අහසින් යෙමින් සිටි මහබෝසතාණන්ගේ ශීලය පවා පෘථග්ජන භාවය නිසා නොයෙක් වර බීඳී ගිය බව ජාතක කථාවල සඳහන්ව ඇත්තේ ය. ලෝකතත්ත්වය නො දන්නෝ කලක් සිල්වත්ව සිට සිල් බිඳගත් අයට නින්දා කෙරෙති. එය අනුවණ කමෙකි. කලක් සිල්වත්ව සිටීම ගැන පැසසිය යුතුවා මිස දිවිහිමියෙන් සිල් රකින්නට නො පිළිවන් වීම ගැන නින්දා කළ යුත්තක් නැත. ටික කලක් වුව ද සිල් රැකි තැනැත්තා කොහෙත් ම සිල් නො රැකි තැනැත්තාට වඩා උසස් ය.

රජව සිටින්නා වූ ද, සක්විතිරජව සිටින්නා වූ ද, සක්දෙව් රජව සිටින්නා වූ ද පෘථග්ජනයා සිටින්නේ මතු තිරශ්චීනත්වයට - ප්‍රේතත්වයට - නේරයිකත්වයට පැමිණිය හැකි ස්වාභාවය ඇතිව ය. සංයෝජනත්‍රය ප්‍රහාණය කළා වූ ශ්‍රෝතාපත්‍යංග සතරින් යුක්ත වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කිසි කලෙක සතර අපායට නැවත නො යන්නේ ය. එබැවින් පිරිසිදු වතක් හඳින්නට නො ලබන මිහිරි බොජුනක් මාස ගණනකට වරකුදු නො ලබන පැල්පතක දුකසේ ජීවත් වන සෝවාන් පුද්ගලයාගේ තත්ත්වය පෘථග්ජන රජකුගේ සක්විත්රජකුගේ දෙව්රජකුගේ තත්ත්වයට උසස් බව කිය යුතු ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.

“පථව්‍යා එකරජ්ජෙන - සග්ගස්ස ගමනෙන වා
සබ්බලොකාධිපච්චෙන - සොතාපත්තිඵලං වරං.”

(ධම්මපද ලොකවග්ග)

“මුළු පොළොවට අධිපති චක්‍රවර්තිරාජභාවයට ද, ස්වර්ගයට යාමට ද, සකල ලෝකයට ම අධිපති වීමට ද, වඩා සෝතාපත්තිඵලය උතුම්ය”යනු එහි තේරුම ය.

සෝවාන් පුද්ගලයාගේ ප්‍රභේද

සත්තක්ඛත්තුපරමය, කෝලංකෝලය, ඒකබීජිය යි ශ්‍රෝතාපන්න පුද්ගලයෝ තිදෙනෙකි.

කතමො ච පුද්ගලො සත්තක්ඛත්තුපරමො?

ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති, අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො සො සත්තක්ඛත්තුං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති, අයං වුච්චති පුග්ගලො සත්තක්ඛත්තුපරමො”

(පුග්ගල පඤ්ඤත්ති)

තේරුම:-

කවර පුද්ගලයෙක් සත්තක්ඛත්තුපරම වේද?

මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තිදෙනෙකු වූ සංයෝජනයන් ක්ෂය වීමෙන් අර්යමාර්ගසංඛ්‍යාත ශ්‍රෝතයට පැමිණියේ වේද, අපායට නොවැටෙන ස්වාභාවය ඇත්තේ ධර්මනියාමයෙන් නියත වූයේ මතු මාර්ගත්‍රයට ඒකාන්තයෙන් පැමිණෙන්නේ වේද, හෙතෙම සත් වරක් දිව්‍යලෝකයෙහි ද මනුෂ්‍යලෝකයෙහි ද ඉපදීම් වශයෙන් ඇවිද දුක් කෙළවර කරන්නේ ය. ඒ පුද්ගල තෙමේ සත්තක්ඛත්තුපරමය යි කියනු ලැබේ.

මෙයින් දිව්‍යලෝක මනුෂ්‍යලෝක දෙක්හි වරින් වර මාරුවෙමින් සත්වරක් ඉපිද සත්වන භවයේදි අර්හත්වයට පැමිණෙන පුද්ගලයා සත්තක්ඛත්තුපරම ය යි දක්වන ලදී. මිනිස්ලොව සෝවාන්ඵලයට පැමිණ මිනිස් ලොව ම සත්වරක් ඉපද අර්හත්වයට පැමිණෙන්නා වූ ද, දෙව්ලොවදී සෝවාන් ඵලයට පැමිණ දෙව්ලොව ම සත්වරක් ඉපද සත්වන භාවයේ අර්හත්වයට පැමිණෙන්නා වූ ද, පුද්ගලයන් ද ඇති බව අටුවාවෙහි කියා ඇත්තේය.

“කතමො ච පුග්ගලො කොලංකොලො?

ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො, සො ද්වේ වා තීණි වා කුලානි සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති. අයං වුච්චති පුග්ගලො කොලංකොලො.”

(පුග්ගල පඤ්ඤත්ති)

දිව්‍යමනුෂ්‍ය භවවල දෙවරක් තුන්වරක් ඉපද අර්හත්වයට පැමිණෙන සෝවාන් පුද්ගලයා කෝලංකෝල නම් වන බව ඉහත පාඨයෙන් දක්වන ලදී. සවන භවය දක්වා සසර සැරිසරන සෝවාන් පුද්ගලයා “කෝලංකෝලය”යි අටුවාවෙහි කියා තිබේ. කොලංකෝල යන වචනයෙහි තේරුම කුලයෙන් කුලයට ඉපදීම් වශයෙන් යන පුද්ගලයා ය යනුයි. සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයෝ මහාභෝගකුලවල මිස ආහාරපාන වස්ත්‍රාදිය සෑහෙන පමණට නො ලබන දිළිදු අශීලාචාර පහත් පවුල්වල නූපදිති. එබැවින් ඒ පුද්ගලයා දැක්වීමේදී භව යන වචනය නො ගෙන කුල යන වචනය ගන්නා ලදී.

“කතමො ච පුග්ගලො එකබීජී?

ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො, සො එකං යෙව මානුසකං භවං නිබ්බත්තෙත්වා දුක්ඛස්සන්නං කරොති, අයං වුච්චති පුග්ගලො එකබීජි,”

(පුග්ගලපඤ්ඤත්ති)

මිනිස්ලොව නැවත එක් වරක් පමණක් ඉපද දුක් කෙළවර කරන සෝවාන් පුද්ගලයා ඒකබීජි නම් වන බව මෙයින් දක්වන ලදී. දෙව්ලොව වුවද එක් වරක් ඉපද දුක් කෙළවර කරන පුද්ගලයා ඒකබීජිය යි කිය යුතු බව අටුවාවෙහි කියා තිබේ.

සෝවාන් පුද්ගලයන්ගේ මේ භේදය වන්නේ මතු මඟපල ලැබීම සඳහා ඔවුන් කරන උත්සාහය අනුවය. ඇතැමෙක් සෝවාන් ඵලයට පැමිණ නො නවත්වා වීර්‍ය්‍ය කොට ඒ ආසනයෙහි දී ම සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගඵලවලට පැමිණ රහත්ව දුක් කෙළවර කරති. ඇතැමෙක් ඒ භවයේ දී ම කවර අවස්ථාවකදී හෝ වෙර වඩා ඉතිරි මඟපලවලට පැමිණ දුක් කෙළවර කරති. වර්තමාන භවයේදී ම දුක් කෙළවර කරන සෝවාන් පුද්ගලයෝ මේ ප්‍රභේදයට නො ගන්නා ලදහ. ඇතැමෙක් දෙවන ජාතියේ උතසාහ කොට අර්හත්වයට පැමිණෙති. ඔවුහු ඒකබීජි නම් වෙති. ඇතමෙක් දෙවන භවයෙන් ඔබ සත්වන භවයෙන් මොබ යම් කිසි භවයකදී විදසුන් වඩා අර්හත්වයට පැමිණෙති. ඔවුහු කෝලංකෝල නම් වෙති. ඉතා ප්‍රමාද සෝවාන් පුද්ගලයෝ සත්වන භවයෙහි අර්හත්වයට පැමිණෙති. ඔවුහු සත්තක්ඛත්තුපරම නම් වෙති. කාම ලෝකයෙහි සෝවාන් පුද්ගලයන් සත්වරකට වඩා නො ඉපිදීම එක්තරා ධර්මනියාමයෙකි. එහෙයින් “කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා න තෙ භවං අට්ඨමං ආදියන්ති.” යනු වදාරන ලදී.

ඇතැම් සෝවාන් පුද්ගලයන් නිවන් පසක් කොට සිටින්නාහු ද භවයට ද බොහෝ කැමැත්තෝ ය. බොහෝ කල් ලෞකික සම්පත් විඳින්නට කැමැත්තෝ ය. ඔවුහු කාමලෝකයේ දී රහත් නො වී අනාගාමීව ධ්‍යාන ලබා අවිහ බ්‍රාහ්මලෝකයෙහි ඉපද මහාකල්ප දහසක් එහි වාසය කොට, නැවත අතප්ප භූමියෙහි ඉපිද කල්ප දෙදහසක් එහි වැස, අනතුරුව සුදර්ශන බ්‍රහ්මලෝකයෙහි ඉපිද බ්‍රහ්මලෝකයෙහි ඉපිද කල්ප සාරදහසක් වැස, අනතුරුව සුදර්ශී බ්‍රහ්මලෝකයෙහි ඉපිද එහි අටකපස් වැස, අනතුරුව අකනිට්ඨයෙහි ඉපිද ඉතා දිර්ඝකාලයකින් රහත්ව සංසාරය කෙළවර කරන්නාහ. ඒ පුද්ගලයෝ ද මේ විභාගයට නො ගන්නා ලදහ. අනේපිඬු සිටුතුමාය, විශාඛා මහාඋපාසිකාවය, චූලරථ මහාරථ දේවපුත්‍රයෝ ය, අනේකවර්ණදේව පුත්‍රයා ය, සක්දෙව්රජය, නාගදත්තදේවපුත්‍රයාය යන මොවුහු සත්වරට වඩා සසර උපදනා සෝවාන් පුද්ගලයෝ ය යි පුද්ගලපඤ්ඤත්ති අටුවාවෙහි කියා තිබේ.

සියලු ම ආර්‍ය්‍යපුද්ගලයෝ සුඛාපටිපදා දන්ධාභිඤ්ඤය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤය, දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤය, දුක්ඛාපටිපදා ඛිප්පභිඤ්ඤය යන භේදයෙන් සතර කොටසක් වෙති. ඒකබීජි කෝලංකෝල සත්තක්ඛත්තුපරම යන සෝවාන් පුද්ගලයෝ තිදෙනා ප්‍රතිපදා භේදයෙන් සතර දෙනෙක් බැගින් වීමෙන් සෝවාන් පුද්ගලයෝ දොළොස් දෙනෙක් වෙති. මඟපලයන්ට පැමිණෙන්නවුන්ගෙන් ඇතමෙක් ශ්‍රද්ධාව ප්‍රධාන කර ගෙන විදසුන් වඩා මඟපල ලබති. ඔවුහු ශ්‍රද්ධාධුර නම් වෙති. ඇතමෙක් ප්‍රඥාව ප්‍රධාන කර ගෙන විදසුන් වඩා මඟපල ලබති. ඔවුහු ප්‍රඥාධුර නම් වෙති. ඉහත කී සෝවාන් පුද්ගලයන් අතර ශ්‍රද්ධාධුරයෝ ද වෙති. ප්‍රඥා ධුරයෝ ද වෙති. එබැවින් ඒ පුද්ගලයන් දොළොස් දෙන ධුර දෙකින් ගුණ කළ කල්හි සෝවාන් පුද්ගලයෝ සූවිසි දෙනෙක් වෙති.

සකෘදාගාමී පුද්ගලයා

“කාමරාගව්‍යාපාදානං තනුභාවාය පටිපන්නො පුග්ගලො සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, යස්ස පුග්ගලස්ස කාමරාගව්‍යාපාදා තනුභූතා, අයං වුච්චති පුග්ගලො සකදාගාමි.

“කාමරාගව්‍යාපාදයන් තුනී වී යාම පිණිස පිළිපන් පුද්ගල තෙමේ සකෘදාගාමීඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන්නේ වේ. යම් පුද්ගලයකුහට කාමරාග ව්‍යාපාදයෝ තුනී වූවා ද ඒ පුද්ගලයා සකෘදාගාමී යි කියනු ලැබේ ය, යනු ඉහත දැක්වූ පාඨයේ තේරුම ය. සෝවාන් ඵලයට පැමිණි පසු නැවත විදර්ශනා කොට නැවත ද චතුස්සත්‍යයන් වඩා පිරිසිදු ලෙස දැක කාමරාගව්‍යාපාදයන් තුනී කරගත් පුද්ගලයා සකෘදාගාමී නම් වේ.

සක්කායදිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බතපරාමාස යන සංයෝජනයන් මෙන් කාමරාග ව්‍යාපාදයන් එක් වරට ම මතු නූපදනා පරිදි සම්පූර්ණයෙන් ප්‍රහාණය නො කළ හැකි ය. ඒවා සකෘදාගාමී මාර්ගයෙන් තුනී කරනු ලැබේ. තුනී කිරීමය යනු පෘථග්ජන පුද්ගලයකුට මෙන් නිතර නූපදනා තත්ත්වයට පැමිණවීම හා කලාතුරකින් උපන්නාහු ද පෘථග්ජනයන්ට මෙන් නොයෙක් දුශ්චරිතයන්හි හැසිරෙන ලෙස ඝනව සිත අඳුරු කර නූපදනා තත්ත්වයට පැමිණවීම ය. කාමරාගව්‍යාපාදයන් තුනී කළ සකෘදාගාමී පුද්ගලයාහට ඒවා උපදින්නේ කලාතුරකිනි. කලාතුරකින් උපදින්නේ ද කාමයන් තදින් අල්ලා ගැනීම් වශයෙන් ඝනව නූපදී. ධාර්මික ලෙස කාමයන් වළඳන පරිදිම උපදිති. අන්‍යයන්ට බණින පහර දෙන තරමට ව්‍යාපාදය නූපදී. නො කැමති වීම් නො සතුටු වීම් වශයෙන් පමණක් තුනී ලෙස උපදී. සකෘදාගාමී යන වචනයේ තේරුම පිළිසිඳ ගැනීම් වශයෙන් එක් වරක් පමණක් මිනිස් ලොවට එන පුද්ගලයා ය යනුයි. මිනිස්ලොවදී ආර්‍ය්‍යඵලය ලබා දෙව්ලොව ඉපද ආයු ඇති තාක් එහි දෙව් සැප විඳ නැවත මිනිස් ලොව ඉපද මෙහිදී රහත්ව දුක් කෙළවර කරන ආර්‍ය්‍ය ශ්‍රාවකයා සකෘදාගාමී නම් වේ.

ඉධ පත්වා ඉධ පරිනිබ්බායි,
ඉධ පත්වා තත්ථ පරිනිබ්බායි,
තත්ථ පත්වා තත්ථ පරිනිබ්බායි,
තත්ථ පත්වා ඉධ පරිනිබ්බායි,
ඉධ පත්වා තත්ථ උප්පජ්ජිත්වා ඉධ පරිනිබ්බායි

මෙසේ ද්විතීක ආර්‍ය්‍යඵලස්ථයෝ පස් දෙනෙක් වෙති. මිනිස්ලොවදී ම ද්විතීයාර්‍ය්‍යඵලයට පැමිණ මෙහි ම පිරිනිවෙන්නා වූ පුද්ගලයා “ඉධ පත්වා පරිනිබ්බායි” නමි. මෙහිදී ද්විතීයඵලයට පැමිණ දෙව්ලොව ඉපද එහිදී පිරිනිවෙන්නා වූ ආර්‍ය්‍යශ්‍රාවකයා “ඉධ පත්වා තත්ථ පරිනිබ්බායි” නමි. දෙව්ලොවදී ද්විතීය ඵලයට පැමිණ දෙව්ලොවදීම පිරිනිවෙන්නා වූ ආර්‍ය්‍යශ්‍රාවකයා “තත්ථ පත්වා තත්ථ පරිනිබ්බායි” නමි. දෙව්ලොවදී ද්විතීය ඵලයට පැමිණ මෙහි ඉපිද මෙහි පිරිනිවෙන්නා වූ ආර්‍ය්‍යශ්‍රාවකයා “තත්ථ පත්වා ඉධ පරිනිබ්බායි” නමි. මෙහිදී ද්විතීය ඵලයට පැමිණ දෙව්ලොව ඉපද නැවත මිනිස්ලොව ඉපද මිනිස් ලොවදී රහත්ව පිරිනිවෙන්නා වූ ආර්‍ය්‍යශ්‍රාවකයා “ඉධ පත්වා තත්ථ උප්පජ්ජිත්වා ඉධ පරිනිබ්බායි” නමි. මේ ද්විතීය ඵලස්ථ ආර්‍ය්‍ය පුද්ගලයන් පස් දෙනාගෙන් නියම වශයෙන් සකෘදාගාමී යන නම යෙදෙන්නේ අන්තිමට කී පුද්ගලයාට ය. ද්විතීය ආර්‍ය්‍ය ඵලස්ථ භාවයෙන් සමාන වන බැවින් ඉධ පත්වා ඉධ පරිනිබ්බායි ආදි පුද්ගලයන් සතර දෙනාට ද සකෘදාගාමි යන නාමය ව්‍යවහාර කරනු ලැබේ.

ශූන්‍යතා විමෝක්ෂය, අනිමිත්ත විමෝක්ෂය, අප්‍රණිහිත විමෝක්ෂයය යි මාර්ගඵලයන්ට ලැබෙන නම් තුනක් ඇත්තේ ය. ඒ අනුව සකෘදාගාමී ඵලය තුන් ආකාර වේ. සකෘදාගාමී පුද්ගලයෝ තිදෙනෙක් වෙති. එයින් එක් එක් පුද්ගලයෙක් ප්‍රතිපදා භේදයෙන් චතුර්විධ වේ. එබැවින් සකෘදාගාමී පුද්ගලයෝ දොළොස් දෙනෙක් වෙති.

අනාගාමී පුද්ගලයා

“කාමරාගව්‍යාපාදානං අනවසෙසප්පහාණාය පටිපන්නො පුග්ගලො අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, යස්ස පුග්ගලස්ස කාමරාගව්‍යාපාදා අනවසෙසා පහීණා, අයං වුච්චති පුග්ගලො අනාගාමී.”

“කාමරාගව්‍යාපාදයන් නිරවශේෂයෙන් ප්‍රහාණය කිරීමට පිළිපන් පුද්ගල තෙමේ අනාගාමීඵලය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන්නේ වේ. යම් පුද්ගලයකු හට කාමරාග ව්‍යාපාදයෝ නිරවශේෂයෙන් ප්‍රහීණ ද ඒ පුද්ගල තෙමේ අනාගාමීයයි කියනු ලැබේය.” යනු ඉහත දැක්වූ පාඨයේ තේරුමය. අනාගාමී යන වචනයේ තේරුම ඉපදීම වශයෙන් නැවත කාමලෝකයට නො එන පුද්ගලයාය යනුයි. කාම ලෝකයේ වෙසෙන දෙව්මිනිස්සු කාමලෝකයේ දී අනාගාමී ඵලයට පැමිණෙති. ඔවුනට කාමරාගය සම්පූර්ණයෙන් ප්‍රහීණ බැවින් ඔවුහු නැවත කාමලෝකයෙහි නූපදිති. ඔවුනට රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන උද්ධංභාගිය සංයෝජනයන් ඇති බැවින් ඔවුහු රූපාරූප භවයන්හි උපදිති.

අනාගාමී පුද්ගලයන්ගෙන් ඇතැම්හු අවිහ නම් වූ ශුද්ධාවාස භූමියෙහි ඉපද ඉපදීමට සමීප කාලයේ එහිදී අර්හත්වයට පැමිණ ක්ලේශ පරිනිර්වාණය කෙරෙති. ඇතැම්හු ආයුෂයාගේ මධ්‍යයෙහි අර්හත්වයට පැමිණ ක්ලේශ පරිනිර්වාණය කෙරෙති. ඇතැම්හු ආයුෂයාගේ මධ්‍යට නො පැමිණ අතර කාලයේදී ක්ලේශ පරිනිර්වාණය කෙරෙති. ඒ පුද්ගලයෝ තිදෙනා අන්තරා පරිනිබ්බායි නම් වෙති. ඇතැම්හු අවිහයෙහි ඉපද ආයුෂයාගේ මධ්‍යය පසු කොට කල්ප දහසක් වන ආයුෂයේ සවන සියයේ දී හෝ සත්වන සියයේ දී හෝ අටවන - නවවන - දසවන කල්ප ශතකවලදී හෝ අර්හත්වයට පැමිණ ක්ලේශපරිනිර්වාණය කෙරෙති. ඔවුහු උපහච්චපරිනිබ්බායි නම් වෙති. ඇතැම්හු අවිහයෝ කල්ප දහසක් වැස අතප්පයෙහි ඉපද එහි කල්ප දෙදහසක් වැස සුදර්ශයෙහි ඉපිද එහි කල්ප සාරදහසක් වැස සුදර්ශියෙහි ඉපද එහි කල්ප අට දහසක් වැස අකනිට්ඨයෙහි ඉපද එහිදී ක්ලේශ පරිනිර්වාණය කෙරෙති. ඔවුහු “උද්ධංසෝත අකනිට්ඨගාමි” නම් වෙති.

අනාගාමීන්ගෙන් ඇතැම්හු වඩා දුක් නො ගෙන අල්පෝත්සාහයකින් ම අර්හත්වයට පැමිණෙති. ඔවුහු “අසංඛාර පරිනිබ්බායි” නම් වෙති. ඇතැම්හු බොහෝ කල් වීර්‍ය්‍ය කොට බොහෝ දුක් ගෙන අර්හත්වයට පැමිණෙති. ඔවුහු “සසංඛාර පරිනිබ්බායි” නම් වේ.

අන්තරාපරිනිබ්බායි තිදෙනය, ආහච්චපරිනිබ්බායි නම් පුද්ගලයාය, උද්ධංසෝත අකනිට්ඨගාමි නම් පුද්ගලයාය යන අනාගාමීහු පස්දෙනා අසංඛාරපරිනිබ්බායි සසංඛාරපරිනිබ්බායි භේදයෙන් අවිහ භූමියෙහි දස දෙනෙක් වෙති. අතප්ප - සුදස්ස - සුදස්සී යන ශුද්ධාවාසභූමි තුනෙහි ද දස දෙන බැගින් වෙති. අකනිට්ඨ භූමියෙහි උද්ධංසෝත අකනිට්ඨගාමියකු නො ලැබෙන බැවින් අනාගාමීහු අට දෙනෙක් වෙති. මෙසේ ශුද්ධ වාස භූමි පසෙහි අනාගාමීහූ අට සාළිස් දෙනෙක් වෙති. මේ අනාගාමී පුද්ගල භේදය ය.

අර්හත් පුද්ගලයා

“රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජාය අනවසෙසප්පහාණාය පටිපන්නෝ පුග්ගලො අරහත්ත ඵල සච්ඡිකිරියාය පටිපන්නො. යස්ස පුද්ගලස්ස රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අනවසෙසා පහීණා. අයං වුච්චති පුග්ගලො අරහා.”

රූපරාගය - අරූපරාගය - මානය - උද්දච්චය - අවිජ්ජාවය යන මේ සංයෝජනයන් නිරවශේෂයෙන් ප්‍රහාණය කිරීම පිණිස පිළිපන් පුද්ගල තෙමේ අර්හත්ඵලයට සාක්ෂාත්කිරීම පිණිස පිළිපන්නේ වේ. යම් පුද්ගලයකු හට රූපරාගය - අරූපරාගය - මානය- ඖද්ධත්‍යය - අවිද්‍යාව යන සංයෝජනයෝ නිරවශේෂයෙන් ප්‍රහීණ ද ඒ පුද්ගල තෙමේ අර්හත්ය යි කියනු ලැබේය යනු ඉහත පාඨයේ තේරුමය. එයින් අර්හත් පුද්ගලයා දක්වන ලදී. රූපරාගාදි සංයෝජන පස ප්‍රහාණය කළ පුද්ගලයාට ඉතිරි ක්ලේශ නැත්තේය. හෙතෙමේ සර්වාකාරයෙන් ක්ලේශයන්ගෙන් පිරිසිදු වූ අග්‍රදක්ෂිණෙය්‍ය පුද්ගලයා ය. අරහා යන වචනයේ තේරුම කම්පල අදහා කරන පූජාසත්කාරයන් කිරීමට සුදුසු පුද්ගලයා ය යනුයි.

ශූන්‍යතා විමෝක්ෂයෙන් කෙලෙසුන් මිදුණු අර්හත් පුද්ගලයාය. අනිමිත්ත විමෝක්ෂයෙන් මිදුණු අර්හත් පුද්ගලයාය, අප්‍රණිහිත විමෝක්ෂයෙන් මිදුණු අර්හත් පුද්ගලයාය යි අර්හත් පුද්ගලයෝ තිදෙනෙක් වෙති. ඔවුන්ගෙන් එක් එක් පුද්ගලයෙක් ප්‍රතිපදා භේදයෙන් සතර දෙනකු වීමෙන් අර්හත් පුද්ගලයෝ දොළොස් දෙනෙක් වෙති. මෙසේ පුද්ගලපඤ්ඤත්ති අටුවාවෙහි දැක්වෙන ක්‍රමයෙන් සෝවාන් පුද්ගලයන් සූවිසි දෙනෙකු වීමෙන් ද, සකෘදාගාමී පුද්ගලයන් දොළොස් දෙනෙකුන් වීමෙන් ද, අනාගාමී පුද්ගලයන් අටසාලිස් දෙනෙකුන් වීමෙන් ද, අර්හත් පුද්ගලයන් දොළොස් දෙනෙකුන් වීමෙන් ද ආර්‍ය්‍යපුද්ගලයෝ සයානු දෙනෙක් වෙති.

සූත්‍රනිපාතයේ ආර්‍ය්‍ය පුද්ගල විභාගය

යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා
චත්තාරි ඒතානි යුගානි හොන්ති
තෙ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
එතෙසු දින්නානි මහප්ඵලානි.

යන ගයෙහි තථාගතයන් වහන්සේ විසින් ආර්‍ය්‍ය පුද්ගලයන් එකසිය අටදෙනෙකුන් වන බව දක්වා වදාරා ඇත්තේ ය. ඒ එකසිය අට දෙනා සූත්‍රනිපාත අටුවාවෙහි විභාග කර ඇත්තේ මෙසේ ය.

ඒකබීජිය, කෝලංකෝලය, සත්තක්ඛත්තුපරමය යි සෝවාන් පුද්ගලයෝ තිදෙනෙකි. කාම රූප අරූප භව තුනෙහි ඵලප්‍රාප්ත සකෘදාගාමී පුද්ගලයෝ තිදෙනෙකි. ඒ සදෙන ප්‍රතිපදා අනුව සූවිසි දෙනෙක් වෙති. අන්තරාපරිනිබ්බායි, උපහච්චපරිනිබ්බායි, අසංඛාරපරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්ධංසෝත අකනිට්ඨගාමි යි අවිහයෙහි අනාගාමීහු පස් දෙනෙකි. අතප්ප-සුදස්ස-සුදස්සී භූමි තුනෙහි ද එසේම පස් දෙනා බැගින් වෙති. අකනිට්ඨයෙහි උද්ධංසෝත අකනිට්ඨගාමියකු නැති බැවින් අනාගාමීහු සතර දෙනෙකි. මෙසේ අනාගාමීහු සූවිසි දෙනෙක් වෙති. ශුෂ්ක විදර්ශකය ශමථයානිකය යි අර්හත් පුද්ගලයෝ දෙදෙනෙකි. මාර්ගස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. සියල්ලෝ සූපනස් දෙනෙක් වෙති. ඒ සියල්ලන් ශ්‍රද්ධාධුර - ප්‍රඥාධුර දෙකින් ගුණ කළ කල්හි ආර්‍ය්‍ය පුද්ගලයෝ එකසිය අට දෙනෙකි.

මෙතෙකින් සංඝගුණ වර්ණනාව නිමියේ ය.!!

බුද්ධරත්නය ධර්මරත්නය සංඝරත්නය යන ත්‍රිරත්නයේ ගුණ වැනීම් වශයෙන් කළ මේ ග්‍රන්ථය ඒ රත්නත්‍රයට පූජාවක් වේවා!

මේ ගත ලියූ පිනෙහි අනුහසින් සකල සත්ත්වයන්ට
තෙරුවන් ගුණ අවබෝධ වේවා.!!

ආශ්‍රිත ග්‍රන්ථ