ශාසනාවතරණය
මහාචාර්ය
රේරුකානේ චන්දවිමල
(සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිත, ප්‍රවචන විශාරද,
අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී)
මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින්
සම්පාදිතයි.
සසර දුකින් මිදී නිවන් සුවය ලබනු කැමති සැදැහැවත් නැණවත් කුලපුත්‍රයනට ඒ සඳහා පිළිවෙත් පිරීමට ස්ථානයක් වශයෙන් හා දෙවියන් සහිත ලෝකයාහට පුණ්‍යක්ෂේත්‍රයක් වශයෙන් ද මහාකාරුණික වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පිහිටුවා ඇති මේ ශාසනයට අවතීර්ණ වන්නා වූ කුලපුත්‍රයනට පළමු කොට ලැබෙන්නේ සාමණේර ප්‍රව්‍රජ්‍යාවය. සාමණේර පැවිද්ද ලබා සිටින බොහෝ දෙනකුන් ඔවුන් විසින් රැකිය යුතු ශීලය පිළිබඳව සෑහෙන දැනුමක් නැති ව, ඔවුන් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති ගැන දැනුමක් නැතිව, නො මනා ලෙස හැසිරෙනු දැකීමෙන් සංවේගයට පත් වූ ද, සාමණේර ශීලය හා සාමණේරයන් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති විස්තර කර ඇති ධර්ම ග්‍රන්ථයක් නැති පාඩුව දුටුවා වූ ද, ශාසනෝදයකාමී මහාස්ථවිරයන් වහන්සේලා කීප නමක් ම සාමණේර ප්‍රතිපදාව විස්තර කරන ධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස අපට ආරාධනා කළහ. බුදු සසුනට එවැනි ධර්මග්‍රන්ථයක් නැති පාඩුව අපට පෙණුනු බැවින් ඒ ආරාධනාවත් සලකා “ශාසනාවතරණය” නමැති මේ ධර්ම ග්‍රන්ථය අප විසින් සම්පාදනය කරන ලදි. සාමණේර ශීලය පිළිබඳ විස්තරයක් හා නවක - මධ්‍යම - ස්ථවිර සකල භික්ෂූන් විසින් හා සාමණේරයන් විසින් දැනගත යුතු වූ, සිතට කාවද්දා ගත යුතු වූ, තථාගතයන් වහන්සේ විසින් විශේෂයෙන් පැවිද්දන් සඳහා ම දේශනය කර ඇත්තා වූ, බොහෝ ධර්ම ද මේ ග්‍රන්ථයට ඇතුළු කොට ඇත. එබැවින් මෙය සියලු ම පැවිද්දන් විසින් භාවිත කළ යුතු ධර්ම ග්‍රන්ථයෙකි.
පැවිද්ද වනාහි ශාසනයට බැස ගත් තැනැත්තා ගේ සිත කය යන දෙකට ම තිබිය යුත්තකි. හිසකේ දැළි රැවුල් ඉවත් කොට ගිහි ඇඳුම් පැළඳුම් ඉවත් කොට සිවුරු හැඳ පොරවා ගැනීමෙන් සිදුවන්නේ කය පැවිදි කිරීම පමණෙකි. කෙස් රැවුල් ඇඳුම් පැළඳුම් සේ ගිහි සිත ඉවත් කළ හැකි නොවේ. සිවුර හැඳ පොරවා ගත් තැනැත්තාට ඔහුගේ ගිහි සිත එසේ ම පවත්නේ ය. කය පැවිදි කිරීම විනාඩි ගණනක දී කළ හැකිය. සිත පැවිදි කිරීම එසේ ඉක්මනින් ලෙහෙසියෙන් නො කළ හැකි ය. එය කිරීමට කලක් ගත වේ. කය පැවිදි කළත් ඇතමුන්ගේ සිත පැවිදි නො කළ හැකිය. එබඳු ඇතැම් පැවිද්දෝ ගිහි සිතින් ම ජීවිතය කෙළවර කරති.
බුදුසස්නෙන් ලැබිය යුතු - පැවිද්දෙන් ලැබිය යුතු නියම ප්‍රයෝජනය ලැබීමට නම්, සිත කය දෙක ම පැවිදි කර ගත යුතු ය. කයෙහි පමණක් පැවිද්ද ඇති, ගිහි සිත් ඇති තැනැත්තාහට පැවිද්ද අමිහිරි ය. ඔහුට පැවිද්දෙහි ආස්වාදයක් - සතුටක් නැත. ඔහුට වැටහෙන්නේ සිල් රැකීම මහත් කරදරයක් ලෙස ය. දිනකට දෙතුන් වරක් තුනුරුවන් වැඳීම - වත් පිළිවෙත් කිරීම - ධර්මය උගෙනීම - භාවනා කිරීම යනාදි ශ්‍රමණ කෘත්‍යයන් පලක් නැති කරදර වැඩ ලෙස ය. එබැවින් ඔහු හැකිතාක් ඒවායින් ඈත්වීමට බලයි. කරන්නේ ද යම්තරමකට කරයි. ඔහුට ප්‍රිය වන්නේ පැවිද්දෙහි සිට කළ හැකි, ගිහියන්ට ද සාධාරණ යම්කිසි වැඩ කොටසක් වේ නම් ඒවාය. අශ්‍රද්ධාවත් ගිහියන් සමගත්, තමා වැනි පැවිද්දන් සමගත් තිරශ්චීන කථාවෙන් කල් යැවීම ඔහුට මිහිරි ය. විනෝද ගමන් යෑම මිහිරි ය. හොඳ ආහාරපාන - හොඳ භාණ්ඩ සැපයීම, මිල මුදල් සැපයීම ඔහුට මිහිරි ය. ඒවායේ ඔහු ඉතා කැමැත්තෙන් යෙදෙන්නේ ය . කය පැවිදි බවට පත්කරගෙන වෙසෙන අයට ගිහි සිත ද රිසි සේ ගිහි සැප විඳීමට අවකාශ නො ලැබෙන බැවින් ඔවුහු ගිහි සැපයෙන් ද පිරිහෙති. පැවිද්දෙන් ලැබිය යුතු ඵලයෙන් ද පිරිහෙති. ඔවුන් දෙලොවින් ම පිරිහෙන බව කිව යුතු ය.
“සිත පැවිදි කිරීමය” කියනුයේ සත්ත්වයන්ගේ සිත්වල ප්‍රකෘතියෙන් පිහිටා ඇති තෘෂ්ණා - මාන - දෘෂ්ටි - ද්වේෂ - ඊර්‍ෂ්‍යා - මාත්සර්‍ය්‍යාදි පාපධර්මයන් සිතින් බැහැර කොට ඒවාට සිතෙහි රජකම් කරන්නට නො හැකි වන පරිදි, මෛත්‍රී - කරුණා - ශ්‍රද්ධා - ප්‍රඥා - අල්පේච්ඡතා - සන්තුෂ්ටිතා - භාවනාරාමතාදි ශ්‍රමණ ගුණවලින් සිත පොහොසත් කර ගැනීම ය. සිත සකස් කර ගැනීම ය. පැවිදි සිත යයි කියනුයේ එසේ සකස් කළ සිත ය. පැවිදි සිත ඇති තැනැත්තාහට පැවිද්ද මිහිරි ය. සැප ය. සිල් රැකීම ඔහුට මිහිරි ය. තුනුරුවන් වැඳීම - වත් පිළිවෙත් කිරීම - භාවනා කිරීම ධර්මය උගෙනීම ඔහුට මිහිරි ය. එබැවින් ඔහු ඉතා කැමැත්තෙන් සිල් රකී. අන්‍ය ශ්‍රමණ කෘත්‍යයන්හි ද කැමැත්තෙන් ම යෙදෙයි. ඔහු ඒවායේ යෙදවීමට නීති වුවමනා නැත. කංකානම්වරු වුවමනා නැත. ඔහුට කරදරයක් වශයෙන් වැටහෙන්නේ ඒවාට බාධා පැමිණීම ය.
දැන් කිය යුත්තේ සස්නෙහි පැවිදි වන කුල පුත්‍රයන් ගේ සිත් පැවිද්දට යෝග්‍ය වන ලෙස සකස් කිරීමේ ක්‍රමය ගැන ය. එය කළ යුත්තේ ඔවුන් ගේ සිත්වලට බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ඇතුළු කිරීමෙනි. ධර්මය ඔවුන්ගේ සිත්වලට කා වැද්දීමෙනි. එය හැර සිත් සකස් කළ හැකි අන් ක්‍රමයක් නැත්තේ ය. නීතියෙන් බල කිරීමෙන් හෝ පාලන ක්‍රම ඇති කිරීමෙන් හෝ එය කිසි කලෙක නො කළ හැකි ය. සිත් සකස් කිරීම හැර ගුණවත් පැවිද්දන් ඇති කිරීමට අන් ක්‍රමයක් නැත. තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් සඳහා ම දේශනය කර ඇති, පැවිද්දන් විසින් අවශ්‍යයෙන් ම දැන සිටිය යුතු, සිතෙහි පිහිටුවා ගත යුතු බොහෝ ධර්ම ඇත්තේ ය. පැවිදි වූවකුට ක්‍රමයෙන් ඒ ධර්ම එකිනෙක උගන්වා, ඒ ධර්මයන් ගේ අදහස් හොඳින් තේරුම් කර දී, ඒ ධර්ම ඔහුගේ සිතෙහි පිහිටුව හොත්, ක්‍රමයෙන් ඔහුගේ සිත පැවිද්දට යෝග්‍ය පරිදි සකස් වන්නේ ය. එයින් ඒ තැනැත්තා ශික්ෂාකාමී ගුණවත් සැදැහැවත් පැවිද්දෙක් වන්නේ ය. පැවිද්දන් විසින් විශේෂයෙන් දත යුතු ඒ ධර්ම සමූහය එක් පොතකට සංග්‍රහ කර නැත. පිටකත්‍රයට අයත් නොයෙක් පොත්වල විසිර පවත්නා වූ ඒ ධර්ම යම්කිසි ආචාර්යවරයකුගෙන් නූගත් කෙනකු විසින් සොයා ගැනීම දුෂ්කර ය. ගෝලයන් තනන ආචාර්යවරයන්හට ඒ ධර්ම පහසුවෙන් සොයා ගත හැකි වනු පිණිසත්, ඒ දනු කැමති අන් පැවිද්දන් ගේ යහපත පිණිසත්, ශාසනාවතරණය නමැති මේ ග්‍රන්ථයට ඒ ධර්මවලින් සෑහෙන ප්‍රමාණයක් ඇතුළු කර ඇත්තේ ය.
අප විසින් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ අමුතු පර්යේෂණයක් කොට කරුණු සැපයීමෙන් නොව, බාලකාලයේ දී අප ඇසුරු කළ ගුරුවරුන් ගෙන් ලත් අවවාදානුශාසනයන් ග්‍රන්ථාරූඪ කිරීමක් වශයෙනි. එහෙත් පිරිසිදු ලෙස ඒ ධර්ම මේ ග්‍රන්ථයට ඇතුළු කිරීම සඳහා ඒවා ඇති තැන් සෙවීමට මහන්සියක් දරන්නට සිදුවිය. ඇතැම් කරුණු ඇති තැන් සෙවීමට බොහෝ වෙහෙසෙන්නට සිදුවිය. පාරාජිකා පාළි, පාචිත්තිය පාළි, මහා වග්ග පාළි, චුල්ලවග්ග පාළි, දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තරනිකාය, සංයුක්තනිකාය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්තනිපාතය, ථෙරගාථාව, ජාතකපාළිය යන ත්‍රිපිටකය අයත් ග්‍රන්ථවලින් හා අටුවා පොත්වලින් උපුටා ගත් කරුණු මේ ග්‍රන්ථයට ඇතුළු කර ඇත්තේ ය.
අද රට හැඩ ගැසී ඇති සැටියට කුලදරුවකු පැවිදි කළ හොත් විද්‍යාලයකට - පිරිවෙණකට යවා ඔහුට අධ්‍යාපනය ලබා දිය යුතු ව ඇත්තේ ය. ඒ විද්‍යාස්ථාන වලින් සාමණේර නමකට සාමණේර ශීලය පිළිබඳ වූ, සාමණේර නමක් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති පිළිබඳ වූ සම්පූර්ණ අධ්‍යාපනයක් නො ලැබේ. නවක පැවිද්දකුගේ සිත පැවිද්දට යෝග්‍ය වන පරිදි සකස් වන, ශ්‍රමණ ගුණ වඩන අධ්‍යාපනයක් නො ලැබේ. ඒවායින් බොහෝ විට නවක පැවිද්දාට ලැබෙන්නේ මානය වැඩෙන, තණ්හාව වැඩෙන, ශ්‍රද්ධාව හීන කරන “බුද්ධෙ කංඛති, ධම්මේ කංඛති, සංඝෙ කංඛති, සික්ඛායකංඛති, පුබ්බන්තේකංඛති, අපරන්තේකංඛති, පුබ්බාපරන්තේ කංඛති, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංඛති විචිකිච්ඡති” යනුවෙන් දැක්වෙන අෂ්ටප්‍රකාර විචිකිත්සාව ඇති කොට නවක පැවිද්දා ගේ සිත අවුලෙන් අවුලට පත්කරන අධ්‍යාපනයෙකි. පැවිදි ගෝලයන් තනන මහතෙරවරු තම තමන්ගේ ගෝලයන් සුවච ශික්ෂාකාමීන් කරනු කැමැත්තහු නම්; විද්‍යාස්ථානවලට ගෝලයන් යවා ලබා දෙන අධ්‍යාපනයෙන් ම සෑහීමට පත් නො වී, “ශාසනාවතරණය” නමැති මේ ග්‍රන්ථයෙහි ඇතුළත් ධර්ම ටික පමණවත් තමන් ගේ ගෝලයන් ගේ සිත්වල පිහිටවත්වා!!
හදිසියේ ඇති වන සසර කලකිරීම් නිසා ද, එසේ ම හදිසියේ ඇති වන ශ්‍රද්ධාව නිසා ද, අනුන්ගේ මෙහෙයීම් නිසා ද, මෙකල බුදුසසුනට බැස ගන්නා බොහෝ දෙනා කායප්‍රව්‍රජ්‍යාව පමණක් ලබා කල් යෑමෙන් පැවිද්ද අමිහිරි වී, “මෝඩකමක් කරගතිමි” යි තැවෙමින් ගිහියන් දෙස බල බලා ඔවුන් ගේ සම්පත්වලට කෙළ ගිලිමින් කලක් සිට සිවුරු හැර යති. ඇතැම්හු සිවුරේ මුවාවෙන් රස්සාවක් කිරීමට සෑහෙන දෙයක් උගෙන සිවුරු හැර යති. සමහරු ශ්‍රද්ධාව නැති බැවින් ශ්‍රමණ ප්‍රතිපත්ති වල ද නො යෙදී, පැවිද්දෙහි ම නිකම් කල් ගත කොට දිවි කෙළවර කෙරෙති. මේවා ගැන කලකිරුණු ඇතැම් බෞද්ධයෝ නොයෙක් විධියේ ශාසනපාලන ක්‍රම යෝජනා කරති. ඇතැම්හු සැම දෙනාට ම පැවිදි වන්නට ඉඩ නො දී හොඳ අය තෝරා පැවිදි කරන්නට යෝජනා කරති. එහෙත් එය කළ හැකි වැඩක් නො වේ. අද අශාන්ත ව හැසිරෙන තැනැත්තා සමහර විට හෙට ශාන්ත පුද්ගලයෙක් වෙයි. අද ශාන්ත තැනැත්තා සමහර විට හෙට අශාන්තයෙක් වෙයි. අද දුශ්ශීල පුද්ගලයා සමහර විට දුසිල් කම් හැර හෙට සිල්වත් වෙයි. අද සිල්වත් පුද්ගලයා ද සමහරවිට හෙට දුශ්ශීල වෙයි. එය පෘථග්ජන ලෝකයේ ස්වභාවය ය. එබඳු ලෝකයේ පුද්ගලයන් තේරීමක් නො කළ හැකි ය. හොඳ පුද්ගලයන් තෝරා පැවිදි කරන්නට කථා කරන්නේ ද ශාසනය නො හඳුනන නිසා ය.
මේ ශාසනය පිහිටුවා ඇත්තේ ශාන්තවූවන් ගේ සැප විහරණයට ස්වර්ගයක් වශයෙන් නො ව, අශාන්තයන් ශාන්ත බවට පත් කරන බිමක් වශයෙනි. පළමු වෙන් ශාසනයට ඇතුළුවීම කිනම් අදහසකින් කළත් ශාසනයට ඇතුළු වූ පුද්ගලයා ගේ සිතට බුදුදහම ඇතුළු කරනු ලැබුව හොත්, ඒ තැනැත්තා ක්‍රමයෙන් ශාන්ත පුද්ගලයෙක් වන්නේ ය. මේ සස්නෙහි පැවිදි ව රහත් වූ සැම දෙනා ම සසර කලකිරී සැදැහැයෙන් පැවිදි වූවෝ නො වෙති. රාධබ්‍රාහ්මණ පැවිදි වූයේ ජීවත් වීමේ පහසුව සලකා ගෙන ය. වංගීස බ්‍රාහ්මණ පැවිදි වූයේ මන්ත්‍රයක් උගෙනීම සඳහා ය. චන්දාභ බ්‍රාහ්මණ පැවිදි වූයේ ද මන්ත්‍රයක් උගෙනීම සඳහා ය. රාහුල කුමාරයන් හා නන්ද කුමාරයන් පැවිදි වූයේ ද සැදැහැයෙන් නොව බල කිරීම නිසා ය. ශාක්‍ය කෝලිය යුඬය සාමදාන කරවීම ගැන සතුටට පත් ඒ දෙනුවර වැසියෝ තථාගතයන් වහන්සේට තෑග්ගක් වශයෙන් පැවිදි කර ගැනීමට කුමාරයන් පන්සිය දෙනකුන් දුන්හ. ඔවුන් අතර ශ්‍රද්ධාවෙන් පැවිදි වූ එකෙකුදු නො වීය. එහෙත් ඔවුන් ගේ සිත්වල ධර්මය පිහිටුවා හික්මවනු ලැබීම නිසා ඒ සැම දෙන ම රහත් වූහ. මෙසේ මේ සස්නෙහි සසර කලකිරීමක් නැති ව ශ්‍රද්ධාවක් නැති ව පැවිදි වූ තවත් බොහෝ අය ශාසන ධර්මය අනුව හික්මවීමෙන් රහත් වූ බව බෞද්ධ පොතපතින් පෙනේ. පළමුවෙන් සසර කලකිරී ඉමහත් ශ්‍රද්ධාවෙන් පැවිදි ව පසුව නො මඟට හැරෙන අය ද බොහෝ ය. කරුණු මෙසේ හෙයින් පැවිදි වන අයගේ සිතට ධර්මය ඇතුළු කිරීමෙන් ම මිස පුද්ගලයන් තෝරා පැවිදි කිරීමෙන් ශාසනයෙහි හොඳ පැවිද්දන් ඇති කළ නො හෙන බව කිව යුතු ය.
සැමදෙනාගේ ම සිත්වලට ධර්මය කාවැද්දිය හැක්කේ ද නො වේ. නෙළුම් කොළයෙහි වතුර නො තැවරෙන්නාක් මෙන් කොතෙක් අවවාදානුශාසනා කළත් ධර්මය නො තැවරිය හැකි සිත් ඇත්තෝ ද ඇත්තාහ. ඔවුහු මේ සස්නෙහි අභව්‍ය පුද්ගලයෝ ය. ඔවුන් ගැන කළ හැකි දෙයක් නැත. “එවං ඔවදියමානා එවං අනුසාසියමානා අප්පෙකච්චේ අච්චන්ත නිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, ඒකච්චෙ නාරාධෙන්ති, එත්ථ ක්‍යාහං බ්‍රාහ්මණ, කරොමි” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ද අවවාදයෙන් අනුශාසනයෙන් නො හික්මවිය හැකි අය ගැන කළ හැකි දෙයක් නැති බව ය. තථාගතයන් වහන්සේ විසින් එසේ වදාරා ඇතත් ඇතැම් බෞද්ධයෝ පාලන ක්‍රම ඇති කොට නීතියේ බලයෙන් පැවිද්දන් ලවා සිල් රක්වා ශාසනය ශුද්ධ කරන්නට කථා කරති. එහෙත් ශ්‍රද්ධාව නැති ශීලයට නො කැමති පුද්ගලයන් ලවා නීතිවලින් සිල් නො රැක්විය හැකි ය. නීතියට බියෙන් යම්කිසිවක් නො කිරීම ද සිල් රැකීමක් නොවේ. අනුන් ලවා සිල් රක්ෂා කරවීමට - ප්‍රතිපත්ති පිරවීමට ඇති එක ම ක්‍රමය සිත් සකස් කිරීම ය. අප විසින් ශාසනාවතරණය නමැති මේ ග්‍රන්ථය සපයන ලදුයේ සිත සකස් කරගනු කැමතියන්ට උපකාරයක් වශයෙනි.
ලෝකය නිරතුරු ව පෙරළෙමින් පවතින්නකි. පෙරළෙන ලෝකයෙහි බුදුසසුනට පමණක් නො පෙරළී සිටිය හැකි බවක් කොයින් ද? ලෝක පරිවර්තනය අනුව පෙරළී ගොස් බුදුසසුන ද කෙළවර වීම ස්වභාව ධර්මය ය. එය කාහටවත් කිනම් බලයකින්වත් නො නැවැත්විය හැකි ය. බුදුරදුන් පිරිනිවී දැනට වර්ෂ දෙදහස් පන්සියයක් ඉක්ම ඇත්තේ ය. ඒ දීර්ඝ කාලයෙහි භික්ෂු පරපුර එදා බුදුරදුන් සමඟ විසූ භික්ෂූන්ගෙන් බොහෝ දුරට පෙරළී ඇත්තේ ය. වර්තමාන භික්ෂු පිරිස මෙයින් වර්ෂ දෙදහසකින් පෙර විසූ භික්ෂූන් ගේ තත්ත්වයට ආපසු පෙරළීම නම්, මොනම බලයකින් වත් නොකළ හැකි වැඩකි. එබැවින් එදා සිටි භික්ෂූන්ගේ තත්ත්වයෙහි සිටින භික්ෂූන් අද බලාපොරොත්තු නො විය හැකි ය. අද බලාපොරොත්තු විය යුත්තේ වර්තමාන ලෝක තත්ත්වය අනුව ගුණවත් පැවිද්දන් ය.
“ශාසනාවතරණය” නමැති මේ ග්‍රන්ථය පරිශීලනය කිරීම වර්තමාන පැවිද්දන්ට පුරුදු වුවහොත් වර්තමාන ලෝක තත්ත්වය අනුව ගුණවතුන් වශයෙන් සැලකිය හැකි බොහෝ පැවිද්දන් ඇති වනු නො අනුමාන ය. අප විසින් ද මේ ග්‍රන්ථය සපයන ලදුයේ “සැම පැවිද්දන්ම මෙය පිළිගනිතිය” යන අදහසින් නො ව, “ටික දෙනකු විසින්වත් මෙය පිළිගතහොත් අපේ මහන්සියට එයත් ඇත” ය යන අදහසිනි. තමන් දත් ධර්මය අන්‍යයන්ට ද දත හැකි වන පරිදි මෙසේ ග්‍රන්ථාරූඪ කොට තැබීමෙන් අපගේ යුතුකම අපි ඉටු කෙළෙමු. මෙය පිළිගැනීම හෝ නො ගැනීම ඔබ සතු ය.
චිරං තිට්ඨතු සද්ධම්මෝ,
මීට, ශාසනස්ථිතිකාමි
රේරුකානේ චන්දවිමල
2504 (1960) ඔක්තෝබර් 21, පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමය.
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
සමස්ත ලෝකවාසී සකල සත්ත්ව සමූහයා වෙත පතළා වූ මහා කරුණාවෙන් යුක්ත වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ නැවත නැවත ඉපදීම ය, නැවත නැවත දිරීම ය, නැවත නැවත මැරීම ය, නොයෙක් පව්කම් කරන්නට සිදුවීමෙන් නැවත නැවත අපායට පැමිණෙන්නට සිදුවීම ය යන මෙතෙක් දුක්වලින් යුක්ත වන සංසාරයෙන් මිදී පරම සුන්දර නිර්වාණ ක්ෂේම භූමියට පැමිණ සැනසීම ලබා ගනු කැමති නැණවත් කුලපුත්‍රයනට ඒ උතුම් සැනසීම ලබනු පිණිස පිහිට කර ගැනීම සඳහා මේ අත්‍යුත්තම ප්‍රව්‍රජ්‍යාව අනුදැන වදාළ සේක.
සත්ත්වයාහට නිවනට පැමිණිය නො හැකි ව සසර ම රැඳී සිටින්නට සිදුවී ඇත්තේ ඔහු තුළ පවත්නා රාගාදි ක්ලේශ ධර්ම සමූහය නිසා ය. ඒ කෙලෙස් සමූහය දුරුකොට ශුද්ධියට පැමිණීමට ඇත්තා වූ උපාය නම් ශීල, සමාධි, ප්‍රඥා යන මේ ධර්ම තුන තමා කෙරෙහි ඇති කර ගැනීම ය. ඒවා දියුණු කර ගැනීම ය. ගිහි ව වාසය කරන තැනැත්තාහට සියදිවි රැකුම පිණිසත්, අඹු දරුවන් පෝෂණය කරනු පිණිසත්, ඔවුන් සතුටු කරවනු පිණිසත්, නෑ මිතුරන් අසල්වැසියන් සතුටු කරවනු පිණිසත්, සතුරු උවදුරුවලින් මිදීම පිණිසත් කළ යුතු දේ ඉතා බොහෝ ය. ඒවා නොකොට ගිහි ජීවිතය නොපැවැත්විය හැකි ය. ඒවා කරන්නා වූ ගිහියාට සිල් රැකීමට භාවනා කිරීමට ඉඩක් ලබා ගැනීමට ඉතා අපහසු ය. සිත පිරිසිදු කර තබා ගැනීම ඉතා දුෂ්කර ය. ශීලයක් සමාදන් වුව ද ගිහියාට එය වැඩිකල් නො පැවැත්විය හැකි ය. එය ඉක්මනින් කිලිටි වන්නේ ය. ඉක්මනින් බිඳෙන්නේ ය. අමාරුවෙන් ඉඩක් ලබා ගෙන භාවනාවක යෙදුනේ ද බොහෝ කටයුතු ඇති ගිහියාට සමාධියක් ලබා ගැනීම දුෂ්කර ය. සමාධියක් ලබා ගත්තේ ද එය කෙලෙස් නැඟ ඒමෙන් වහා නැසෙන්නේ ය. පැවිදි වූවහුට ශීලාදි ගුණ ධර්ම වැඩීමට බොහෝ පහසුකම් ඇත්තේ ය. එබැවින් සසර රැඳී සිටීමේ නපුරත්, නිවනෙහි උතුම් බවත් දක්නා නුවණැත්තා වූ කුල පුත්‍රයෝ “සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා” යන දේශනයෙන් දැක්වෙන පරිදි ගිහිගෙය ගුණදම් පිරීමට අවහිර තැනක් බවත්, කෙලෙස් රජස් උපදනා තැනක් බවත්, පැවිද්ද ගුණදම් පිරීමට අවකාශ ඇති තැනක් බවත් සලකා මාපියන් හැර, සහෝදර සහෝදරියන් හැර, නෑ මිතුරන් හැර, ධනය හැර, ගිහිගෙයින් නික්ම පැවිදි වන්නාහ.
මේ පැවිද්ද වනාහි ලෝකයා විසින් ඉතාම උසස් තත්ත්වය වශයෙන් සලකන රජ බවට ද වඩා උතුම් තත්ත්වයකි. රජකම කෙලෙස් වැඩීමට, පව් වැඩීමට භූමියක් වනු මිස කෙලෙස් නැසීමට පව් නැසීමට හේතු වන තත්ත්වයක් නොවේ. රජකම් කරන්නන්ට බොහෝ සෙයින් සිදු වන්නේ රජකම නිසා ම නොයෙක් පව්කම් කොට මරණින් මතු නරකයට යෑමට ය. සාමාන්‍ය ජනයාට තබා අප මහා බෝසතාණන් වහන්සේටත් පෙර එක් ජාතියක විසි වසක් රජකම් කිරීමේ දී සිදු කර ගත් පව් නිසා අසූදහසක් අවුරුදු ඔසුපත් නරකයක පැසෙන්නට වූ බව තේමිය ජාතකයෙහි දක්වා තිබේ. ජාතිස්මරණඥානය ලැබූ තේමිය කුමාරයන්ට ඉතා ළදරු කාලයේ දී ම ඒ බව දැනිණ. එබැවින් තේමිය කුමාරයෝ තමන්ට උරුම ව ඇති රජකම පිළිගැනීමට බියෙන් එය අත්හරින් පිණිස පිළකු මෙන් ද, ගොළුවකු මෙන් ද විසූහ. සැමදා ම එක් තැනක වැතිර ඉන්නා වූ මලමුත්‍ර පහකිරීමට පවා නොනැගිටින්නා වූ කථාවක් නැත්තා වූ බෝසතාණන් වහන්සේ කෙරෙහි අන්තිමට කලකිරුණා වූ පිය රජතුමා මෙබඳු කාලකණ්ණියකු තබා ගැනීම රජගෙදරට ද නපුරකැයි සලකා කුමාරයන් ගෙන ගොස් වනයෙහි වළලා දමන ලෙස සුනන්ද නම් රියැදුරාට නියම කෙළේ ය. බෝසතාණන් වහන්සේ කථා කරන්නට පටන් ගත්තේ රියැදුරා විසින් වනයට ගෙන යෑමෙන් පසුව ය. එහි දී රජගෙදර මාපියන් හමුවෙහි කථා නො කිරීමේ හේතුව විචාළ රියැදුරාහට තේමිය කුමාරයන් කී සැටි ජාතක පාළියේ මෙසේ දැක්වේ.
“පූරිමං සරාමහං ජාතිං යත්ථ රජ්ජමකාරයිං,
කාරයිත්වා තහිං රජ්ජං පාපත්ථං නිරයං භුසං
විසතිං චෙව වස්සානි තහිං රජ්ජමකාරයිං,
අසීතිං වස්ස සහස්සානි නිරයම්හි අපච්චිසං,
තස්ස රජ්ජස්සහං භීතො මා මං රජ්ජාභිසෙචයුං
තස්මා පිතුච්ච මාතුච්ච සන්තිකෙ න භණිං තදා.”
මේ ගාථාවල තේරුම මෙසේ ය:
“මම යම් ජාතියක බරණැස් නුවර රජය කෙළෙම් ද ඒ පූර්ව ජාතිය සිහි කරමි. ඒ ජාතියේ දී රජකම් කොට බොහෝ දුක් ඇති නරකයට වැටුණේ වීමි. ඒ ජාතියේ දී මම විසි වසක් රාජ්‍යය කෙළෙමි. එයින් අවුරුදු අසූ දහසක් නරකයෙහි පැසුණෙමි. නැවතත් ඒ රජකම කිරීමට බිය පත් වන මා නැවත රාජ්‍යයෙහි අභිෂේක නො කෙරෙත්වා යි මාපියන් හමුවේ දී කතා නො කෙළෙමි.”
තේමිය කුමාරයන් රජකම් කිරීමට බිය පත් වූයේ රජබව කෙලෙස් වඩන පව් වඩන අපායෙහි ඉපදීමට සසර දික් වීමට හේතු වන තත්ත්වයක් බැවිනි. පැවිද්ද වනාහි එබඳු නපුරු තත්ත්වයක් නොව කෙලෙස් තුනී කරන පව් අඩු කරන සසර කෙටි කරන තත්ත්වයෙකි. කෙබඳු පුද්ගලයකු වුවත් ගිහි ගෙය හැර පැවිදි වූයේ නම් හෙතෙමේ කලින් සිටියාට වඩා පව් කම් අඩු පුද්ගලයකු වන්නේ ය. එබැවින් තේමිය කුමාරයෝ තමන්ට උරුම වී ඇති රජය හැර පැවිද්ද ගත්හ. නුවණැති උත්තම පුද්ගලයන් විසින් මේ පැවිද්ද කෙතරම් උසස් කොට සැලකේ ද යන වග රජය හැර පැවිදි වූ “මහාජනක” රජතුමා ගේ මේ ප්‍රකාශයෙන් තේරුම් ගත හැකි ය.
“හිත්වා සතපලං කංසං සොවණ්ණං සතරාජිකං,
අග්ගහිං මත්තිකාපත්තං තං දුතියාභිසෙචනං”
“පලම් සියයක් බර ඇති බොහෝ ඉරි ඇති රන් තලිය හැර පැවිදි වී මැටි පාත්‍රය ගතිමි. ඒ මැටි පාත්‍රය ගැනීම මාගේ දෙවන අභිෂේකය වන්නේ ය” යනු එහි තේරුම ය.
එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් රජු ගේ පුරෝහිත තුමා ගේ පුත්‍රයකු ව උපන් සේක. එදින ම බරණැස් රජුට ද පුත්‍රයෙක් උපන්නේ ය. රජතුමා පුරෝහිත පුත්‍රයා ද රජ මැදුරට ගෙන්වා තමාගේ පුත්‍රයා සමග ම පෝෂණය කරවී ය. ඒ කුමාරවරුන් දෙදෙන එකට ම වැඩී තක්ෂිලාවට ගොස් ශිල්ප උගෙන පැමිණියෝ ය. රජතුමා තමා ගේ පුත්‍රයාට යුවරජ කම දුන්නේ ය. බෝධිසත්වයෝ ද ඔහු හා එක්ව කමින් බොමින් නිදමින් ඉතා විශ්වාසී ව විසූහ. පසු කල රජුගේ ඇවෑමෙන් මිත්‍ර වූ කුමාරයා මහ රජකමට පත් විය. ඔහුගේ සම්පත්තිය ඉතා මහත් විය. තමන් වහන්සේගේ මිතුරා රජ බවට පත් වූ බැවින් තමන් වහන්සේට නො වරදවා පුරෝහිත තනතුර ලැබෙන බව බෝසතාණෝ දන්නාහ. එහෙත් උන්වහන්සේ මට මේ ගිහිගෙයින් පලක් නැත. පැවිදි ව විවේකී ව වෙසෙමියි තමාට අයත් ධනස්කන්ධය හැර පැවිදි ව හිමාලය වනයෙහි විසූහ. රජතුමාට බෝසතාණන් වහන්සේ සිහි වී “මගේ යහළුවා දක්නට නැත. ඔහු කොහි දැ” යි ඇසීය. ඇමතියෝ බෝසතාණන් වහන්සේ පැවිදි වූ බව රජුට කීහ. එකල්හි රජතුමා පුරෝහිත තනතුර දෙනු පිණිස බෝසතාණන් කැඳවා ගෙන එන ලෙස සය්හ නම් ඇමතියකු උන්වහන්සේ වෙත යැවී ය. පුරෝහිත බව අගමැතිකම වැනි උසස් තනතුරකි. පුරෝහිත බවට පැමිණියාහුට රජකුට සේ බොහෝ සම්පත් ඇති ව දිවි පැවැත්විය හැකි ය. සය්හ ඇමතියා බෝසතාණන් වහන්සේ කරා ගොස් කාරණය උන්වහන්සේට දැන්වීය.
එකල්හි බෝසතාණන් වහන්සේ:
“සසමුද්දපරියායං මහිං සාගර කුණ්ඩලං,
න ඉච්ඡෙ සහ නින්දාය එවං සය්හ විජානහි.
-
ධීරත්ථු තං ධනලාභං යසලාභඤ්ච බ්‍රාහ්මණ,
යා චුත්තිවිනිපාතෙන අධම්මචරණෙන වා.
-
අපි චෙ පත්තමාදාය අනගාරො පරිබ්බජෙ,
සා යෙව ජීවිකා සෙය්‍යො යාව ධම්මෙන එසනා.
-
අපි චෙ පත්ත මාදාය අනගාරො පරිබ්බජෙ,
අඤ්ඤං අහිංසයං ලොකෙ අපි රජ්ජෙන තං වරං
යනුවෙන් “සය්හය! ප්‍රව්‍රජ්‍යාව හැර යස ඉසුරු ගත්තේ ය යන නින්දාව සමග සාගරයෙන් වට වූ මේ මුළු පොළොව වුව ද ගැනීමට මා කැමති නොවන බව දැන ගනුව. බ්‍රාහ්මණය! තමා ගේ ගුණය නසා ගැනීමෙන් හෝ අධර්මයෙහි හැසිරීමෙන් හෝ ලබන ධනලාභ යස ලාභයන්ට නින්දා වේවා. අධර්මයෙන් ජීවත්වීමට වඩා පැවිද්දකු ව පාත්‍රය ගෙන පිඬු සිඟා ජීවත්වීම ම උතුම් ය. පැවිද්දකු ව අනුන්ට හිංසාවක් නො කොට පාත්‍රය ගෙන ජීවත්වීම රජකමට වඩා උතුම්ය” යි වදාළ සේක. මෙසේ බෝසතාණන් වහන්සේ පුරෝහිත බව ප්‍රතික්ෂේප කොට පැවිදි ව ධ්‍යාන සුවයෙන් ජීවිතාන්තය දක්වා විසූහ.
මහ බෝසතුන් පමණක් නොව පැවිද්දෙහි උතුම් බව දත් තවත් බොහෝ පින්වත්හු රාජ්‍යයන් හැර පුරෝහිතකම් ඇමතිකම් හැර මහා ධනස්කන්ධයන් හැර දූ දරුවන් භාර්‍ය්‍යාවන් හැර පැවිදි වූහ. මහාකප්පින රජතුමා රජය හැර පැවිදි විය. එතුමාගේ ඇමතියෝ දහසක් දෙනා ද ඔවුන් ගේ සම්පත් හැර පැවිදි වූහ. මහාකප්පින රජුගේ දේවිය ද ඇමතියන් ගේ භාර්‍ය්‍යාවෝ සෑම දෙන ම ද එසේ ම ගිහිගෙය හැර පැවිදි වූහ. පුක්කුසාතිය රජතුමා රජය හැර පැවිදි විය. එතුමා ගේ දහසක් ඇමතියෝ ද රජු අනුව ගිහිගෙය හැර පැවිදි වූහ. රජකුට ද වඩා උසස් සම්පත් ඇති ව සිටි ජෝතිය සිටුතුමා ඒ සියල්ල හැර පැවිදි විය. විපතක දී මුළු රට ම පෝෂණය කිරීමට තරම් ධනයට හිමි ව විසූ රට්ඨපාල සිටු පුත්‍රයා ඒ සියල්ල හැර පැවිදි විය. තුන් සෘතුවට යෝග්‍ය වන සේ කරවන ලද ප්‍රාසාද තුනෙක විටින් විට වෙසෙමින් දෙවඟනන් බඳු රූපශෝබාවෙන් යුක්ත වන තරුණ කාන්තාවන් පිරිවරා උසස් ලෙස කම් සැප විඳිමින් විසූ යස සිටුපුත්‍රයා ද පැවිදි විය. ඉතා සියුමැලි ලෙස සුවසේ වැඩී ජීවත් වූ බැවින් පතුලෙහි ලොම් සෑදී තිබූ සෝණ නමැති සිටුපුත්‍රයා ද ඒ සියලු සම්පත් හැර පැවිදි විය.
දිනක් ජම්බුඛාදක නමැති තවුසෙක් සැරියුත් මහ තෙරුන් වහන්සේ වෙත එළඹ, “ඇවැත්නි! මේ ධර්ම විනයෙහි දුෂ්කර දෙය කුමක් දැ”යි විචාළේ ය. එකල්හි සැරියුත් මහ තෙරුන් වහන්සේ “පබ්බජ්ජා ඛො ආවුසො ඉමස්මිං ධම්මවිනයෙ දුක්කරා” යනුවෙන් “ඇවැත්නි! පැවිදි වීම මේ ධර්ම විනයෙහි දුෂ්කර දෙය” යයි වදාළ සේක.
ලෝකයෙහි බොහෝ ජනයා ඇතත් පැවිදි වීමට සමත් වන්නෝ ඉන් ඉතා ටික දෙනෙක් පමණ ය. තමන් ගේ මාපියන් ගෙන්, සහෝදර සහෝදරියන් ගෙන්, භාර්‍ය්‍යාවන් ගෙන්, දූ දරුවන් ගෙන්, සෙසු නෑ මිතුරන් ගෙන්, වෙන් ව එක් රාත්‍රියක් ඉක්මවීම පවා ලෝකයෙහි බොහෝ දෙනකුට අපහසු ය. එබඳු ලෝකයෙහි යමකු මාපිය සහෝදරාදීන් සැමදාට ම හැර දමා පැවිදි වෙනවා නම් ඔහු කරන්නේ ඉතා දුෂ්කර දෙයකි. මහත් වූ චිත්ත ශක්තියක් හෙවත් ධෛර්‍ය්‍යයක් ඇති කුල පුත්‍රයකුට මිස අනිකකුට ගිහි ගෙය හැර පැවිදි විය නො හැකිය. ස්වල්ප වූ හෝ මහත් වූ හෝ ධනය හා නෑ පිරිස හැර යම් කුල පුත්‍රයකු බුදුසස්නට දිවි දී පැවිදි වන්නේ නම් ඒ දුෂ්කර කරුණ සිදු කිරීමෙන් ම ඒ කුල පුත්‍රයා ගරු බුහුමන් කළ යුතු පුද්ගලයෙක් වන්නේ ය. ගිහියන් විසින් ගරු බුහුමන් කිරීමට වැඳුම් පිදුම් කිරීමට සුදුසු වන තවත් බොහෝ ගුණ පැවිද්දකු තුළ ඇත්තේ ය.
ශරීරය පෝෂණය කරනු පිණිසත්, ධනය පිණිසත්, අඹු දරුවන්ට කැවීම පිණිසත්, ක්‍රීඩා පිණිසත්, කිසි ම අනුකම්පාවක් නැතිව බොහෝ අසරණ සතුන් මරන මේ ලෝකයෙහි පැවිද්දා කිසි සතකු නො මරා කිසි සතකුට පීඩා නො කරමින් මෛත්‍රී සහගත සිතින් කරුණා සහගත සිතින් වාසය කරන්නේ ය.
සොර මිනීම් කිරීම් ආදි නොයෙක් උපක්‍රමයෙන් අන් සතු වස්තුව පැහැර ගැනීම ඇත්තා වූ මේ ලෝකයෙහි පැවිද්දා සියලු ආකාර සොරකම්වලින් වැළකී අනුන් විසින් කැමැත්තෙන් දුන් දෙයක් පිළිගනිමින් දැහැමින් ජීවත් වන්නේ ය.
කාමය නිසා රෑ දාවල් දෙක්හි නොයෙක් වැඩ කොට වෙහෙසෙන, නොයෙක් අපරාධ කරන, අදහස් ඉටුකර ගන්නට නොලැබීම නිසා සියදිවි නසා ගැනීම පවා කරන මේ ලෝකයෙහි පැවිද්දා ඒ ග්‍රාම්‍ය ධර්මයෙන් වැළකී දිවි හිමියෙන් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේය.
අනේකාකාරයෙන් බොරු කියමින් ඔවුනොවුන්ට වඤ්චා කිරීම ඇත්තා වූ බොරුවෙන් පිරී ඇත්තා වූ මේ ලෝකයෙහි පැවිද්දා බොරු කීමෙන් වැළකී සත්‍යය ම පාවිච්චි කරමින් සෘජු චිත්තයෙන් වාසය කරන්නේ ය.
තමන් සපයන ධනයෙන් විශාල කොටසක් වියදම් කොට සුරාපානය කරන්නා වූ, දූ දරුවන් හාමත් වී සිටියදී ඔවුන් ගැන නොබලා සුරාපානය කරන්නා වූ ජනයා ඇති මේ ලෝකයෙහි පැවිද්දා සැම කල්හි ම සුරාපානයෙන් වැළකී වාසය කරන්නේ ය.
යම්කිසි හේතුවකින් එක් රැයක් නිරාහාර ව විසීමට සිදු වුවහොත් එයත් මහත් පාඩුවක් ලෙස සලකන මේ ලෝකයෙහි පැවිද්දා සැම කල්හි විකාල භෝජනයෙන් වැළකී වාසය කරන්නේ ය.
සොරකම, සූදුව, දුරාචාරය, බොරු කීම, සුරාපානය යනාදිය පුරුදු කරවීමෙන් අනුන් දෙලොවින් ම පිරිහෙවන අසත්පුරුෂයන් ගෙන් ගහන මේ ලෝකයෙහි පැවිද්දා තෙමේ ද හැකි තාක් පාපයෙන් වෙන් ව වාසය කරමින් පින් පව් හඳුන්වා දීමෙන් කළ යුත්ත නො කළ යුත්ත හඳුන්වා දීමෙන් බොහෝ ජනයාට දෙලෝ වැඩ සිදු කරන්නේ ය. බුදුන් වහන්සේ ගේ ධර්මය අන්‍යයන්ට කියා දෙන එක් එක් පැවිද්දකු නිසා දහස් ගණන් ජනයා දෙලෝ වැඩ සිදු කර ගන්නාහ.
මහජනයාට දහම් දෙසීමක් නොකර තමාගේ වැඩ පමණක් බලා ගෙන ඉන්නා සිල්වත් පැවිච්චා ගෙන් වුව ද ලොවට ඉමහත් යහපතක් වන්නේ ය. සිල්වත් පැවිද්දකු දැක මුන් වහන්සේ සිල්වතෙක ගුණවතෙක කියා යමකු ඒ පැවිද්දා කෙරෙහි සිත පහදවා මෛත්‍රී චිත්තයෙන් ඒ පැවිද්දා දෙස බැලුව හොත් ඒ බැලීම් මාත්‍රයෙන් ද ඔහුට උසස් කුසලයක් වන්නේ ය.
“එවං දස්සනමූලකෙනාපි හි පුඤ්ඤෙන අනෙකානි ජාතිසහස්සානි චක්ඛුම්හි රොගො වා දාහො වා උස්සදා වා පිළකා වා න හොන්ති. විප්පසන්නානි පඤ්චවණ්ණසස්සිරිකානි හොන්ති. චක්ඛුනි රතන විමානෙ උග්ඝාටිතමණී කවාට සදිසානි. සතසහස්ස කප්පමත්තං දෙවෙසු ච මනුස්සෙසු ච සබ්බසම්පත්තීනං ලාභී හොති”
යනුවෙන් පැවිද්දන් දැකීම මුල් කොට ඇති කුශලයෙන් දහස් ගණන් ජාතිවල දී ඇසෙහි රෝගයක් හෝ දාහයක් හෝ පොළක් හෝ නො හටගන්නා බවත්, ඔහුට ඒ පිනෙන් රත්න විමානයක මැණික් කවුළු බඳු වූ පඤ්චවර්ණයෙන් බබලන්නා වූ ප්‍රසන්න නේත්‍රයන් ඇති වන බවත්, කල්ප ලක්ෂයක් දෙවි මිනිස් දෙගතියෙහි සියලු සම්පත් ලබන බවත් මංගල සූත්‍ර අටුවාවේ දක්වා තිබේ.
“යස්ස හි භික්ඛුනො කාලකතෝ පිතා වා මාතා වා අම්හාකංඤාතකො ථෙරො සීලවා කල්‍යාණ ධම්මො ති පසන්නචිත්තො හුත්වා තං භික්ඛුං අනුස්සරති, තස්ස සො චිත්තප්පසාදො පි තං අනුස්සරණමත්තම්පි මහප්පඵලං මහානිසංස මෙව හොති, අනෙකානි කප්පසතසහස්සානි දුග්ගතිතො වාරෙතුං අන්තෙ ච අමතං පාපෙතුං සමත්ථමෙව හොති.”
යනුවෙන් යම් භික්ෂුවකගේ කාලක්‍රියා කළ පියා හෝ මව හෝ අපට නෑ වන තෙරුන් වහන්සේ සිල්වත් කෙනෙක, යහපත් පැවතුම් ඇති කෙනෙක කියා පහන් සිතින් ඒ භික්ෂුව සිහි කෙරේ නම් ඒ චිත්තප්‍රසාදයත් ඒ සිහි කිරීමත් මහත් ඵල මහානිසංස වන්නේ ය. කල්ප ලක්ෂ ගණනක් දුර්ගතියෙන් මිදවීමටත් අවසානයෙහි නිවනට පැමිණ වීමටත් සමත් වන්නේ යයි ආකංඛෙය්‍ය සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවද ශීලාදිගුණයෙන් යුක්ත භික්ෂුවකට බත් සැන්දක් දීමත් පස් රියන් අතු පැළක් සාදා දීමත් කල්ප ලක්ෂ ගණනක් දුර්ගතියෙන් මිදවීමටත් අවසානයෙහි නිවන් සුවය ලබා දීමටත් සමත් වන බවත් ඒ අටුවාවෙහි ම දක්වා ඇත්තේ ය. මේ ධර්මදේශනාදිය නොකරන භික්ෂුවක් නිසාද ලෝකයට සිදුවන යහපත ය. මෙතෙකින් කියන ලදුයේ පැවිද්දකු ගේ ගුණවලින් ඉතා සුළු කොටසකි.
මෙසේ බොහෝ ගුණ ඇති බැවින් පැවිද්දා රජුන් විසින් පවා දෙවියන් විසින් පවා ගරු බුහුමන් කිරීමට වැඳුම් පිදුම් කිරීමට සුදුසු වන්නේ ය. දිනක් සක් දෙව් රජතුමා උයන් කෙළියට යනු සඳහා රථයට නැඟීමට සූදානම් වී සිවුදිගට නමස්කාර කෙළේය. එකල්හි මාතලී නම් වූ දිව්‍යරථාචාර්‍ය්‍යා “දේවයන් වහන්ස: නුඹ වහන්සේට බ්‍රාහ්මණයෝ ද ක්ෂත්‍රියයෝ ද භූමස්ථ දේවතාවෝ ද සතරවරම් දෙව් රජවරු ද තව්තිසා වැසි දෙවියෝ ද නමස්කාර කරන්නා හ. එසේ නමස්කාර කරනු ලබන ඔබ වහන්සේ කවරකුට නමස්කාර කරන්නාහු දැ”යි විචාළේ ය. එකල්හි සක්දෙව් රජ:
“අහංච සීලසම්පන්නෙ චිරරත්තසමාහිතෙ,
සම්මා පබ්බජිතෙ වන්දෙ බ්‍රහ්මචරිය පරායනෙ.”
යනුවෙන් “මම ද සිල්වත් වූ බොහෝ කලක් සංසිඳවන ලද සිත් ඇත්තා වූ ශ්‍රේෂ්ඨ චර්‍ය්‍යා ඇත්තා වූ යහපත් පැවිද්දන්ට වඳිමි”යි කීය.
ද්වේමානි භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? ගිහීසුඛඤ්ච පබ්බජ්ජා සුඛඤ්ච, ඉමානි ඛො භික්ඛවෙ, ද්වෙසුඛානි. එතදග්ගං භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං පබ්බජ්ජා සුඛං.
යනුවෙන් තථාගතයන් වහන්සේ ගිහි සැපය හා පැවිදි සැපය කියා සැප දෙකක් ඇති බවත් එයින් පැවිදි සැපය අග්‍ර බවත් වදාළ සේක.
බොහෝ මිල මුදල් ඇති ව, ලොකු වතු කුඹුරු ඇති ව, ඉඩකඩ ඇති ලස්සන ගෙවල් ඇති ව, හොඳ ඇඳ පුටු මේස ආදි ගෘහ භාණ්ඩයන් ඇති ව, පහසුවෙන් හා වේගයෙන් යා හැකි හොඳ මොටෝරිය ඇති ව, ශෝභන තරුණ භාර්‍ය්‍යාවන් ඇති ව, ප්‍රියංකර දූ දරුවන් ඇති ව, පොහොසත් නෑ මිතුරන් ඇති ව, හොඳ ඇඳුම් පැළඳුම් කෑම් බීම් ඇති ව, උසස් තනතුරු උසස් රස්සාවල් ඇති ව වාසය කරන්නවුන්ට ඒවායින් ලැබෙන සැපය ගිහි සැපය ය. කාම සැපය කියන්නේ ද එයටම ය. ඒ ගිහි සැපය උසස් ලෙස නො ලැබුවත් එක්තරා ප්‍රමාණයකින් හැම දෙනා ම ලබති. මිනිසුන් පමණක් නොව තිරිසන්නු ද ඒ කාම සැපය ලබති. ඔවුහු ද එක් වී මිනිසුන් සේම ඔවුන් ගේ කාම පරිළාභය සන්සිඳවා ගනිති. දූ දරුවන් පෝෂණය කරති. ගෙවල් සාදා ගනිති. කෙසේ හෝ ආහාරපාන සපයා ගෙන ජීවත් වෙති. ධර්මය නො දත් අඥ ජනයා විසින් ඒ කාම සැපය උසස් කොට සැලකුවත් එහි උසස් බවක් නැත. එය හීන සැපයෙකි. ඒ කාම සැපය බොහෝ දුක් සහිත වූ ද බොහෝ අන්තරාය සහිත වූ ද සැපයෙකි. භාර්‍ය්‍යාවක් ඇති පුරුෂයකු හට ඇය පෝෂණය කිරීම සඳහා ඇය සතුටු කිරීම සඳහා රෑ දාවල් දෙක්හි වැඩ කොට බොහෝ වෙහෙසෙන්නට සිදු වන්නේ ය. කොතෙක් වෙහෙසී ධන සැපයීම කළත් ඇගේ වුවමනා සියල්ල සම්පූර්ණ කරන්නට නො හැකි වන්නේය. අඩු පාඩු පිළිබඳ කන් දොස්කිරියාව ඒ පුරුෂයාට සෑමදාම ඇත්තේ ය. කොතෙක් ධනය සපයා දුන්නත් භාර්‍ය්‍යාවන් සතුටු කිරීම දුෂ්කර ය. මුල් කාලයේ දී භාර්‍ය්‍යාව හිමියාට බොහෝ ප්‍රේම කරන්නී ය. සැමියාට ජීවිතය වුවත් දෙන්නට කථා කරන්නීය. බොහෝ පුරුෂයෝ එයට රැවටෙති. ප්‍රේමය ස්ථිර දෙයක් නො වේ. පරණ වත් වත් ම ඇගේ ප්‍රේමය ලිහිල් වන්නේ ය. එයින් හිමියා ගැන බිරියගේ සැලකිල්ල ද කෙමෙන් අඩු වන්නේ ය. ඇගේ සිතට අල්ලන අන් පුරුෂයකු මුණ ගැසුණ හොත් පරණ සැමියා ගැන පැවති ඇගේ ප්‍රේමය ඉක්මනින්න ම කෙළවර වන්නේ ය. ඉන් පසු ඈ නොයෙක් අයුරින් සැමියාට කරදර කරන්නට පටන් ගන්නීය. සමහර විට හිමියා මරන්නට පවා උපක්‍රම යොදන්නීය. සමහර පුරුෂයන්ට භාර්‍ය්‍යාවන් ගේ උපක්‍රමවලින් මැරෙන්නට ද සිදු වන්නේ ය. මේ භාර්‍ය්‍යාව නැමති කාම වස්තුව සම්බන්ධයෙන් ඇති වන දුඃඛස්කන්ධය ය. සෑම කාම වස්තුවක් සම්බන්ධයෙන්ම මෙ බඳු දුඃඛස්කන්ධයක් ඇත්තේ ය. කාම වස්තූන් සඳහා ජනයා අතර මහ පොරයක් ඇත්තේ ය. එක් වස්තුවක් තමතමන්ට අයත් කර ගැනීමට දහසක් දෙනා බලාපොරොත්තු වෙති. එක් අයකු අයිති කර ගෙන සිටිය ගෙන වත්ත කුඹුර මුදල් ටික බඩු ටික ඉඩක් ලැබෙතොත් පැහැර ගන්නට බලාපොරොත්තු වන අය දහස් ගණනින් ඇත්තේය. එබැවින් වෙහෙසී මිල මුදල් ආදිය සපයා ගත් තැනැත්තාට ඒවා පරෙස්සම් කර ගැනීමට ද බොහෝ වෙහෙසෙන්නට සිදු වන්නේ ය. එපමණක් නොව බොහෝ පව්කම් කිරීමට ද සිදු වන්නේ ය. කාම වස්තූන් අයත් කර ගෙන පවත්වන ගිහි ජීවිතය පවින් තොර ව පැවැත්වීමට දුෂ්කර ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.
“ඝරානා නීහමානස්ස ඝරානා භනතො මුසා,
ඝරානා දින්නදණ්ඩස්ස පරෙසං අනිකුබ්බතො.”
නො ලැබූ වස්තුව ලැබීම සඳහාත් ලැබූ වස්තුව පරෙස්සම් කර ගැනීම සඳහාත් උත්සාහ කිරීම් වශයෙන් දුක් නො ගන්නා වූ තැනැත්තාටත්, මිල මුදල් කෙත් වතු ආදිය සඳහා බොරු නො කියන තැනැත්තාටත් සොර සතුරු ආදීන්ට දඬුවම් නොකරන තැනැත්තාටත්, කපටි කමින් අනුන් රැවටීම නො කරන තැනැත්තාටත්, ගිහි ජීවිතය නොපැවැත්විය හැකි බව මේ ගාථාවෙන් දැක්වේ.
ගිහි ජීවිතය පවත්වන්නට යන තැනැත්තාට බොරු කීම් ආදි නොයෙක් පව්කම් කරන්නට සිදු වන්නේ ය. වස්තුව සැපයීම සඳහා පව් නො කරන පවින් වැළකී විසීමට උත්සාහ කරන තැනැත්තාගේ සිත ද තමාගේ දෙය අනුන් පැහැර ගන්නට තැත් කරන කල්හි කෝපය ඇති වී හදිසියේ ම පවට නැමෙන්නේ ය. ඇතමුන් අතර කොස්ගෙඩි පොල්ගෙඩි ආදි සුළු දේවලට මිනී මරා ගැනීම් පවා සිදු වන්නේ ඒ නිසා ය. කාම වස්තූන් අයත් කරගෙන ඉන්නා අයට නොයෙක් විට ඒවා පැහැර ගන්නට එන අය හා කෝලාහල කොට තුවාල ලැබීමෙන් දුකට පත්වන්නට සිදු වන්නේ ය. නඩුවලට හසු වී බොහෝ කරදර විඳින්නට සිදු වන්නේ ය. අනුන් ට පහරදීම් වශයෙන් පව්කම් කොට මරණින් මතු අපාගත වන්නට ද සිදු වන්නේ ය. කාම වස්තූන් සැපයීමත් දුකෙකි. ලැබූ පසු ඒවා පරෙස්සම් කිරීමත් දුකෙකි. අන්තරාය සහිත කරුණෙකි. බොහෝ දෙනා ඒවා නිසා පව්කම් කොට මරණින් මතු අපායට ද යෙති. එබැවින් කාමයන්හි ඇති නපුර තේරුම් ගත් නුවණැතියෝ ඒවා හැර ගිහි භූමියෙන් ඉවත් ව පැවිදි වන්නාහ. කාමයන් ගෙන් වන නපුර තේරුම් ගැනීමට තරම් නුවණ නැත්තා වූ කෙලෙසුන්ට වසඟ වන්නා වූ පුද්ගලයෝ කාමයන්හි ඇලී ගැලී සිට මෙලොව ද දුක් වී මරණින් මතු අපායට ද වැටෙන්නාහ.
අඹු දරු කෙත් වතු මිල මුදල් ආදි කාම වස්තුව නිසා ද තණ්හාව නිසා ද තාඩන පීඩනවලට වධබන්ධන වලට හසුවීම් වශයෙන් වන්නා වූ දුඃඛස්කන්ධය තණ්හාව දුරු කොට කාම වස්තූන් කෙරෙන් බැහැර ව වාසය කරන පැවිද්දාට නැත. ඒ විවේක සුවය පැවිදි සැපය ය. මෛත්‍රී කරුණා සමාධ්‍යාදි ගුණධර්ම ඇති කර ගැනීමෙන් ලැබෙන්නා වූ චිත්තසුඛය ද පැවිදි සැපය ය.
මේ පැවිදි සැපය වනාහි තිරිසනුන්ටත් සාධාරණ ගිහි සැපය සේ සැමදෙනා විසින් ලැබිය හැකි සැපයක් නොවේ. එම කාමයන් ගේ ලාමක බව දුක් සහිත බව දැකීමට සමත් නුවණක් ඇත්තා වූ ද තණ්හා මානාදි කෙලෙසුන් තුනී කර ගත්තා වූ හෝ කෙලෙසුන් සම්පූර්ණයෙන් බැහැර කළා වූ හෝ උසස් අදහස් ඇති පුද්ගලයන් විසින් පමණක් ලබන සැපයෙකි. පැවිදි ව විසුවත් කෙලෙසුන්ට වසඟව නුවණ මඳ පැවිද්දන්ට මේ පැවිදි සැපය ලැබෙන්නේ නැත. ඔවුහු පැවිදිසැපය කුමක් ද කියා තේරුම් ගැනීමටවත් සමත් නො වෙති. කෙලෙසුන්ට වසඟ ව ඉන්නා නුවණ මඳ ගිහි පැවිදි කාටත් වැටහෙන්නේ පැවිදි සැපය නපුරක් ලෙසත් දුකක් ලෙසත් ය. පැවිද්ද සැප වන්නේ තණ්හා මානාදි කෙලෙසුන් තුනී කරගත් අයට පමණෙකි. යමෙක් යම් පමණකට කෙලෙස් අඩු කර ගත්තේ ද ඒ තරමට ඒ තැනැත්තාට පැවිද්ද සැප වන්නේ ය. මහාකප්පින රජතුමා පැවිදි වීමෙන් පසු ගිය ගිය තැන “අහෝ සුඛං අහෝ සුඛං” යි උදන් අනමින් විසූයේ ය. එසේ උදන් ඇනීම කෙළේ රජකම් කරද්දී තිබූ සුවයට වඩා උසස් සුවයක් පැවිදි වීමෙන් පසු ලැබූ නිසා ය.
එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රජ ව පසේබුදුවරුන් ගෙන් දහම් අසා කාමයන් ගැන අපේක්ෂාව හැර කාමරයකට වී භාවනා කොට තමන් වහන්සේ ලද සතුටත් සැපයත් -
“ධීරත් ථු සුබහු කාමෙ දුග්ගන්ධෙ බහුකණ්ඨකෙ,
යෙ අහං පතිසෙවන්තො න ලභිං තාදිසං සුඛං.”
යනුවෙන් පැවසූහ. “දුගඳ ඇත්තා වූ බොහෝ සතුරන් ඇත්තා වූ මේ බොහෝ වූ කාම වස්තූන්ට නින්දා වේවා, ඒ කාමයන් සේවනය කළා වූ මම එයින් මෙබඳු සැපයක් නො ලදිමි ය” යනු එහි තේරුම ය. මිනිස් ලොව උසස් ම කම් සැප ඇත්තේ රජවරුන්ට ය. උසස් කම් සැප ලබා සිටි රජුන් ඒ කම් සැපයට වඩා උසස් කොට පැවිදි සැපය වර්ණනා කර තිබීමෙන් සලකා ගන්නට තිබෙන්නේ එය ලෝකයේ උසස් ම සැපය කියාය. නුවණැත්තෝ ඒ උසස් පැවිදි සැපය ලබන්නාහ.
නගරග්‍රාමවල ක්‍රමානුකූල ව තැනූ ඉඩකඩම් ඇති ලස්සන ආවාස ගෘහවල වෙසෙන උසස් ඇඳ පුටු මේස ආදි භාණ්ඩ පරිභෝග කරන, ප්‍රණීත ආහාර පාන ලබන මහජනයාගෙන් ගරු බුහුමන් පැසසුම් ලබන, උසස් රථවලින් ගමන් කරන, උසස් තනතුරු දරන, සියල්ල ම කර දෙන සේවකයන් ඇති පැවිද්දෝ ද වෙති. ගරු බුහුමන් පැසසුම් මඳ වුව ද හොඳ වාසස්ථාන ඇති කෙත් වතු ඇති යාන වාහන ඇති බොහෝ මිල මුදල් ඇති පැවිද්දෝ ද වෙති. ඔවුහු ද එක්තරා සැපයක් ලබන්නෝ ය. එහෙත් ඔවුන් ලබන සැපය පැවිදි සැපය නොවන බව කිය යුතු ය. ඒ පැවිද්දන් දැක ඒ තත්ත්වය පතා පැවිදි වෙනවා නම් එය වැරදි මඟක් ගැනීම ය. එබඳු තත්ත්වයන් නැති පැවිද්දන් විසින් ඒ ගැන කණගාටු වී ඒ තත්ත්වය ලබන්නට උත්සාහ කිරීමත් වැරදි මගක් ගැනුම ය. උසස් වාසස්ථාන ප්‍රණීත භෝජනාදිය දැහැමින් ලැබේ නම් ඒවා පිළිගැනීමෙන් පරිභෝග කිරීමෙන් වන වරදක් ද නැත. වරද වන්නේ ඒවාට ගිජු වීම ය. අයත් කර ගෙන ඉන්නා වස්තූන් අඩු තරමට පැවිදි සැපය වඩ වඩා ලැබෙන්නේ ය. පරිභෝග කරන වස්තූන් වැඩි කර ගත් තරමට පැවිදි සැපය අඩු වන්නේ ය. පැවිදි සැපය ලබන්නට නම් ලද දෙයින් සතුටු වන්නට පුරුදු කර ගත යුතු ය. එය උසස් ශ්‍රමණ ගුණයෙකි. පන්සල් කෙත් වතු මිල මුදල් තනතුරු ආදිය පැවිද්දකු ගේ උසස් කම මනින මිනුම් නො වේ. පැවිද්දන් මැනිය යුත්තේ අල්පේච්ඡතාදී ගුණධර්ම වලිනි. ප්‍රත්‍යය අඩු පැවිද්දා දුප්පතකු ලෙස නො සැලකිය යුතු ය. පැවිද්දා පොහොසත් වන්නේ ගුණ ධර්මවලිනි. අරින්දම නම් වූ බරණැස් රජතුමා ඔහුගේ උයනෙහි වැඩහුන් පසේ බුදුවරයකු වෙත ගොස් තමා කාමයන්ට වසඟ ව ඉන්නා බැවින් කාමයන්ගෙන් තොර ව වෙසෙන පසේ බුදුවරයා දුප්පතෙකැ යි සිතා, හිස මුඩු කර ගෙන කැබලි එක් කොට මැසූ වස්ත්‍රයක් පොරවා ගෙන මවකු පියකු නැතිව ගස යට ඉන්නා මේ පැවිද්දා “අනේ දුප්පතෙකැ” යි කීය. එකල්හි පසේබුදුහු-
“න රාජ, කපණො හොති ධම්මං කායෙන ඵස්සයං
යො ධම්මං නිරං කත්වා අධම්මා අනුවත්තති.
ස රාජ, කපණො හොති පාපො පාපපරායණො.”
යනුවෙන් “මහරජ, ආර්‍ය්‍ය මාර්ග සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය ලබා ගත් තැනැත්තා දුප්පතෙක් නො වේ ය, යමෙක් ධර්මය බැහැර කොට අධර්මය අනුව පවත්නේ ද පව්කාරයකු වන පව්කාරයන්ටම උපකාර වන ඒ තැනැත්තා ම දුප්පතාය” යි වදාළහ. ඉක්බිති රජතුමා පසේබුදුන් වහන්සේගෙන් සුවදුක් විචාළේ ය. පසේ බුදුහු පැවිදි සැපය මෙසේ වදාළහ.
“සදා පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො,
න තෙසං කොට්ඨෙ ඔපෙන්ති න කුම්භිං න කලොපියං,
පරනිට්ඨිත මෙසානා තෙන යාපෙන්ති සුබ්බතා.”
“මහරජ, ගෙවල් නැත්තා වූ ධනය නැත්තා වූ පැවිද්දෝ ධන ධාන්‍යයන් කොටුවල සැළිවල කූඩාවල රැස් නො කරන්නාහ. මනා පැවතුම් ඇත්තා වූ ඒ පැවිද්දෝ ගෙපිළිවෙළින් පිඬු සිඟා අනුන්ගේ ගෙවල ඉදුණු ආහාරයෙන් යැපෙන්නාහ. ඒ නිසා ඒ පැවිද්දන්ට හැමදාම හොඳය. හැමදාම සැප ය.
“දුතියම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො
අනවජ්ජපිණ්ඩො භොත්තබ්බො න ච කොචු පරොධති.”
පැවිද්දා විසින් වෙදකම් කිරීම, කේන්ද්‍ර බැලීම්, යන්ත්‍ර මන්ත්‍ර කිරීම්, කුහකකම් කිරීම් ආදී නො දැහැමි ක්‍රමවලින් ප්‍රත්‍යය නො සොයා දැහැමින් ලද ආහාරය වැළඳිය යුතු ය. එසේ නිවැරදි ආහාරයක් වළඳන්නා වූ පැවිද්දා හට ලෝභාදි ක්ලේශයන්ගෙන් කවරක් හෝ ඉපද පීඩා නොකරන්නේය. එබැවින් ගෙයක් නැත්තා වූ ධනය නැත්තා වූ පැවිද්දාට දෙවෙනුවත් හොඳ ය. සැප ය.
“තතියම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො
නිබ්බුතො පිණ්ඩො භොත්තබ්බො න ච කොචූ පරොධති”
පැවිද්දා විසින් දැහැමින් ලද ආහාරය ද කෙලෙස් නූපදනා පරිදි ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තව වැළඳිය යුතු ය. කෙලෙස් ඉපදීමට හේතු නොවන බැවින් නිවුණු ආහාරයක් වළඳන්නා වූ ගෙයක් නැත්තා වූ ධනය නැත්තා වූ පැවිද්දාහට තුන්වෙනුවත් හොඳය. සැප ය.
“චතුත්ථම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො,
මුත්තස්ස රට්ඨෙ චරතො සංගො යස්ස න විජ්ජති.”
මේ මාගේ නෑයා ය. මේ මාගේ දායකයා ය කියා ගිහියන් කෙරෙහි ඇලීමක් නැති ව රටෙහි හැසිරෙන්නා වූ පැවිද්දාහට කිසිබන්ධනයක් නැත්තේ ය. එයින් ධනය නැත්තා වූ ගෙයක් නැත්තා වූ පැවිද්දා හට සතර වෙනුවත් හොඳ ය. සැප ය.
“පඤ්චමම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො,
නගරම්හි දය්හමානම්පි නාස්ස කිඤ්චි අදය්හථ”
නගරයක් ගිනි ගත්තත් ධනය නැති ගෙයක් නැති පැවිද්දාගේ කිසිවක් නො දැවෙන්නේ ය. එයින් පස් වෙනුවත් ධනය නැති ගෙයක් නැති පැවිද්දාට හොඳ ය. සැප ය.
“ඡට්ඨම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො,
රට්ඨෙ විලුම්පමානම්හි නාස්ස කිඤ්චි අහාරථ.”
සොර සතුරන් පැමිණ රටක් කොල්ල කන්නට පටන් ගත්තත් ධනය නැති ගෙයක් නැති පැවිද්දාගේ කිසිවක් නො ගෙන යන්නේ ය. එයින් සවනුවත් පැවිද්දාහට හොඳ ය. සැප ය.
“සත්තම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො,
චොරෙහි රක්ඛිතං මග්ගං යෙ වඤ්ඤේ පරිපත්ථිකා
පත්තචීවරමාදාය සොත්ථිං ගච්ඡති සුබ්බතො.”
කොල්ලකෑමට සොරුන් රැක සිටින්නා වූ ද, බදු අය කරන්නන් රැක සිටින්නා වූ ද මඟ, සොරුන්ට ද වුවමනා නැත්තා වූ ද, බදු අය කළ යුතු දෙයක් නො වන්නා වූ ද, පා සිවුරු ගෙන, ධනය නැති ගෙයක් නැති පැවිද්දා සැපසේ යන්නේ ය. එසේ යන්නට ලැබීමෙන් සත් වෙනුවත් පැවිද්දාට හොඳ ය. සැප ය.
“අට්ඨමම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො,
යං යං දිසං පක්කමති අනපෙක්ඛොව ගච්ඡති.”
අල්මාරි පෙට්ටි ආදියෙහි පරිස්සමට තබන ලද කිසි වස්තුවක් නැති පැවිද්දා යම් යම් තැනකට යන්නේ නම් තමාගේ පා සිවුරු ගෙන, උන් තැන ගැන අපේක්ෂාවක් නැති ව නිදහස් ව යන්නේ ය. එසේ යා හැකි බව නිසා ධනය නැති ගෙයක් නැති පැවිද්දා හට අට වෙනුවත් හොඳ ය. සැප ය.
මේ ගාථාවලින් අරින්දම රජතුමාට පසේ බුදුන් වහන්සේ විසින් දක්වා වදාරා ඇත්තේ පැවිදි සැපයෙන් සුළු කොටසකි. පසේ බුදුරජුන්ගෙන් බණ අසා සත්‍යය තේරුම් ගත් අරින්දම රජතුමා ද රජය හැර පැවිදි ව ධ්‍යානාභිඥා උපදවා ආයු කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපන. “පබ්බජිතභවො දුල්ලභො” යි වදාළ පරිදි පැවිදි සැපය දුලබ සැපයෙකි. තිරිසනුන් පවා ලබන ගිහි සැපය සැම තැන ම ඇතියකි. නුවණැත්තෝ දුලබ වූ පැවිද්ද ලබා ජරා මරණ සහිත වූ මේ සංසාරය කෙළවර කොට නිවන් සුවය ලබන්නා හ.
සනරාමර ලෝකශිවංකර වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වෙසක් මස පුර පසළොස්වක් පොහෝ දිනයෙක පස්මරුන් පරදවා සම්‍යක් සම්බෝධියට පැමිණ සත්සති යවා අටවන සතියෙහි ඇසළ මස පුර පසළොස්වක් පොහෝ දිනයෙහි තමන් වහන්සේ චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම් පුරා අවබෝධ කර ගන්නා ලද පරම ගම්භීර ධර්මය ලෝ සතුන්ට දේශනය කිරීම සඳහා බරණැස ඉසිපතනයට වැඩ වදාරා, කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන තවුසන් පස්දෙනා ඇතුළු දස දහසක් සක්වළින් රැස් වූ දේව බ්‍රහ්මයන්ට “ද්වේ මේ භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා” යනාදීන් දම්සක් පැවතුම් සුතුර දේශනය කළ සේක. ඒ ධර්මය ඇසීමෙන් අටළොස් කෙළක් දෙවි බඹුන් සමඟ කොණ්ඩඤ්ඤ තාපසතුමා ධර්මාවබෝධය කොට සෝවාන් ඵලයට පැමිණ බුදුන් වහ්නසේගෙන් පැවිද්ද හා උපසම්පදාව ඉල්ලා සිටියේ ය. එකල්හි තථාගතයන් වහන්සේ “එහි භික්ඛු ස්වාක්ඛාතො ධම්මො චර බ්‍රහ්ම චරියං සම්මාදුක්ඛස්ස අන්තකිරියාය” යනු වදාළ සේක. ආශ්චර්‍ය්‍යයෙකි. එකෙණෙහි කොණ්ඩඤ්ඤ තවුසාණන් ගේ තවුස් වෙස අතුරුදහන් විණි. ඉබේ ම පහළ වූ සිවුරු ඉබේ ම හැඳී පෙරවී පාත්‍රයක් ද ඇති ව කොණ්ඩඤ්ඤ තාපසයාණෝ පැවිදි ව සැට වස් ගස් කළ මහතෙරනමක් සේ පෙනී සිටියහ. බුදුරජාණන් වහන්සේ විසින් “එහි භික්ඛු” යනාදි පාඨය වැදෑරීමෙන් ම අඤ්ඤා කොණ්ඩඤ්ඤ තවුසාණන්ගේ පැවිද්ද හා උපසම්පදාව සිද්ධ විය. එය මේ බුදුසස්නෙහි කළ පළුවන පැවිදිකම හා උපසම්පදාව ය.
මෙසේ ලබන්නා වූ පැවිද්දට හා උපසම්පදාවට “ඒහිභික්ඛු පැවිද්ද යයි ද, ඒහි භික්ඛු උපසම්පදාවය” යි ද කියනු ලැබේ. හිසකේ රැවුළු කැපීමක් නැති ව, සිවුරු දීමක් නැතිව, සික පද සමාදන් කරවීමක් නැති ව, සිදු කරන ඒ පැවිද්ද ලොවුතුරා බුදුවරයකුගෙන් මිස අනෙකකුගෙන් නො ලැබිය හැකි ය. මෙසේ ඇසළ පුණු බොහෝ දිනයෙහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තවුසාණන් පැවිද්ද ලබාගත් පසු තථාගතයන් වහන්සේගේ අවවාදයට අනුශාසනයට කන් දී සෝවාන් ඵලයට පැමිණ දෙවන දිනයෙහි වප්ප තවුසාණෝ ද තුන්වන දිනයෙහි භද්දිය තවුසාණෝ ද, සතරවන දිනයෙහි මහානාම තවුසාණෝ ද, පස්වන දිනයෙහි අස්සජි තවුසාණෝ ද තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්හ. සවන දිනයෙහි දී ඒ පස්දෙනා වහන්සේට අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනය කළ සේක. ඒ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඒ වහන්දෑ පස් දෙන ම සව් කෙලෙසුන් නසා අර්හත්වයට පත් වූහ. එකල තථාගතයන් වහන්සේත් සමඟ ලෝකයෙහි රහතන් වහන්සේලා ස නමක් වූහ.
ඉක්බිති තථාගතයන් වහන්සේ යස නමැති සිටු පුත්‍රයකු ද, විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති යන නම් ඇති යස සිටුපුත්‍රයාගේ යහළුවන් සතර දෙනකු ද, යස සිටු පුත්‍රයා ගේ යහළු ජනපද වැසි උසස් කුල පුත්‍රයන් පනස් දෙනකු ද ඒ වස් කාලය තුළ දී ඒහි භික්ෂු භාවයෙන් ම මහණ කළ සේක. ඒ සෑම දෙනා වහන්සේම රහත් වූහ. එකල්හි තථාගතයන් වහ්නසේ ද සමග ලෝකයෙහි එක් සැට නමක් රහතන් වහන්සේ වූහ. එක් දවසක් තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ සැට නම අමතා “මහණෙනි, මම සියලු බන්ධනයන්ගෙන් මිදුණෙමි. තෙපි ද සියලු බන්ධනවලින් මිදුණාහු ය. මහණෙනි, දැන් තෙපි බොහෝ ජනයාට යහපත පිණිස චාරිකාවෙහි හැසිරෙව්. එක් මඟෙකින් දෙදෙනෙක් නො යව්. මහ ජනයාට දහම් දෙසව්, ධර්මය අවබෝධ කිරීමට සමත් සත්ත්වයෝ ඇත්හාය”යි වදාරා ඒ භික්ෂූන් නා නා දිශාවන්ට යවා තමන් වහන්සේ ද උරුවෙල් දනව්ව බලා වැඩම කළ සේක.
දිශාවල දහම් දෙසමින් හැසුරුනා වූ රහතන් වහන්සේලා නොයෙක් දිශාවලින් නොයෙක් ජනපද වලින් පැවිදිවනු උපසම්පදාවනු කැමතියන් තථාගතයන් වහන්සේ වෙත කැඳවා ගෙන එන්නට වූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කරන සේක. උපසම්පදා කරන සේක. දුර බැහැරින් පැවිදි වනු කැමතියන් බුදුන් වහන්සේ වෙත කැඳවා ගෙන ඊට භික්ෂූන් වහන්සේටත් ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයන්ටත් මහත් වෙහෙසක් විය. එය දුටු භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා රැස්කරවා දැහැමි කථාවක් කොට -
“අනුජානාමි භික්ඛවෙ, තුම්හෙව දානි තාසු තාසු දිසාසු තෙසු තෙසු ජනපදෙසු පබ්බාජෙථ උපසම්පාදෙථ.”
යනුවෙන් “මහණෙනි, දැන් තෙපි ම ඒ ඒ දිශාවන්හි ඒ ඒ ජනපදයන්හි පැවිදි කරව්, උපසම්පදා කරව්” යි භික්ෂූන් හට ඒ ඒ පෙදෙස්වල පැවිදිවනු කැමැතියන් පැවිදි කිරීමටත් උපසම්පදා වනු කැමැතින් උපසම්පදා කිරීමටත් අනුදැන වදාළ සේක. මේ ශාසනය සර්වඥයන් වහන්සේට අයත් ය. එබැවින් මෙහි සියල්ල ම කළ යුත්තේ උන් වහන්සේගේ ආඥාව පරිදි ය. උන් වහන්සේ කුලපුත්‍රයන් පැවිදි කිරීමට හා උපසම්පදා කිරීමට අවසර දී වදාළේ උපසම්පන්න භික්ෂූන්ට පමණෙකි. අන් කිසිවකුට මේ සස්නෙහි පැවිදි උපසම්පදා කිරීමට අවසරයක් නැත. පැවිදි වන්නට සිතා තමා ම සිවුරු පොරවා ගැනීමෙන් ඒ තැනැත්තා පැවිද්දෙක් නොවේ. උපසම්පන්න නොවූ අනෙකකු ලවා සිවුරු පොරවා ගත් තැනැත්තා ද පැවිද්දෙක් නොවේ. ඔවුහු සිවුරු පොරවා ගනෙ සිටින ගිහියෝය. එසේ සිවුරු පෙරවා ගැනීම බලවත් වරදෙකි. මහණ කමක් නැති ව පැවිද්දකු වශයෙන් පෙනී සිට ගිහියන්ගෙන් වැඳුම් පිදුම් ලබා ගැනීමත් බලවත් වරදෙකි. සඟසතු විහාරස්ථානවල වාසය කරනවා නම් එයත් බරපතල වරදෙකි.
සැමදෙනා ම පැවිදි කිරීමට සුදුස්සෝ නො වෙති. එබැවින් පැවිදි කරන ගුරුවරයන් විසින් සුදුස්සන් පමණක් තෝරා පැවිදි කළ යුතු ය.
පණ්ඩකයාය, උභතෝබ්‍යඤ්ජනකයා ය, ථෙය්‍ය සංවාසකයා ය, තිත්ථියපක්කන්තකයා ය, තිරශ්චීනයාය: මාතෘඝාතකයා ය, පීතෘඝාතකයා ය, අරහන්තඝාතකයා ය, ලෝහිතුප්පාදකයා ය. සංඝභේදකයා ය, භික්ඛුණී දූෂකයා ය. යන එකොළොස් දෙන පැවිද්ද ලැබීමට සම්පූර්ණයෙන් ම නුසුදුසු අභව්‍ය පුද්ගලයෝ ය. නො දැන ඔවුන් පැවිදි කළත් ඔවුනට මහණකම නො පිහිටන්නේ ය. නොදැනීමකින් ඔවුන් පැවිදි කර ඇති නම් දැනගත් විට සිවුරු හරවා යැවිය යුතුය. යම්කිසි භික්ෂුවක් විසින් දැන ඔවුන් පැවිදි කළහොත් ඒ භික්ෂුවට ඇවැත් වේ.
“න භික්ඛවෙ, හත්ථච්ඡින්නො පබ්බාජෙතබ්බො, න පාදච්ඡින්නො පබ්බාජෙතබ්බො” යනාදීන් තවත් හත්ථච්ඡින්නාදි පුද්ගලයන් දෙතිස් දෙනකු පැවිදි නො කළ යුතු බව වදාරා තිබේ. යම්කිසි භික්ෂුවක් විසින් ඔවුන් ගෙන් එකකු පැවිදි කළ හොත් ඔහුට මහණකම පිහිටයි. එහෙත් පැවිදි කළ භික්ෂුවට ඇවැත් වේ. කියන ලද දෝෂයන්ගෙන් මිදුණු පුද්ගලයකු වුවද “න භික්ඛවෙ අනනුඤ්ඤාතො මාතා පිතූහි පුත්තො පබ්බාජෙතම්බො. යො පබ්බජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යි තථාගතයන් වහන්සේ වදාරා ඇති බැවින් මාපියන්ගෙන් අනු දැනීමක් නැති පුත්‍රයා ද පැවිදි නො කළ යුතුය. පැවිදි කරනු ලැබුවහොත් ඔහුට ද මහණකම පිහිටයි. පැවිදි කළ භික්‍ෂුවට දුකුලා ඇවැත් වේ.
විනයෙහි දක්වා ඇති ඉහත කී ප්‍රව්‍රජ්‍යා දෝෂ හැර පැවිදි කිරීම සම්බන්ධයෙන් තවත් සැලකිය යුතු බොහෝ කරුණු ඇත්තේ ය. ශිෂ්‍යයන් පැවිදි කරන ආචාර්‍ය්‍යවරයන් විසින් ඒ කරුණු ගැනත් සලකා බලා පැවිද්දට සුදුස්සන් තෝරා ගත යුතුය. නොයෙක් හේතූන් නිසා නොයෙක් අදහස්වලින් පැවිදි වන්නට උත්සාහ කරන්නෝ වෙති. තමන් ගේ මා පියන් සහෝදර සහෝදරියන් සමඟ ද සමඟියෙන් යහතින් නො විසිය හැකි ඇතැම් නොහික්මුණු අය අන්‍යයන් හා සමගියෙන් නො විසිය හැකි නිසා ම පැවිදි ජීවිතයට බැස ගැනීමට උත්සාහ කරති. තවත් සමහරු බලාපොරොත්තු කඩවීම් වලින් වූ සිත් වේදනාව නිසා පැවිදි වන්නට උත්සාහ කරති. සමහරු යම් යම් උත්පත්ති දෝෂ නිසා ඥාතීන් විසින් නො පිළිගන්නා බැවින් ද පහත් කොට සලකන බැවින් ද පැවිදි වන්නට උත්සාහ කරති. සමහරු සිවුරට මුවා වී යම් යම් නොමනා අදහස් ඉටු කර ගැනීමේ අදහසින් පැවිදි වන්නට උත්සාහ කරති. සමහරු පහසුවෙන් ජීවත් විය හැකි වෙතියි සිතා පැවිදි වන්නට උත්සාහ කරති. සමහරු තමන්ගේ යම්කිසි අදහසක් ඉටු කර ගන්නා රිසියෙන් දරුවන් පැවිදි කර වන්නට උත්සාහ කරති. අතීතයේ දී පැවිදි ව රහත් වූ ද ධ්‍යානාභිඥා උපදවා ආකාශ ගමනාදි අද්භූත දේ සිදුකළා වූ ද උත්තම පුද්ගලයන්ගේ චරිත අසා හෝ පොතපතින් කියවා හෝ පැවිදි වුව හොත් තමන්ටත් ඒ තත්ත්වයට පැමිණිය හැකි වෙතියි සිතා ඇතැමෙක් පැවිදි වන්නට තැත් කරති. මෙසේ නො මනා අදහස්වලින් මෝඩ අදහස් වලින් පැවිදි වන්නට එන්නන් පැවිදි කළ හොත් ගුරුවරුන්ටත් අන්‍ය භික්ෂූන්ටත් සමහර විට ඔවුන් ගෙන් බොහෝ කරදර පැමිණිය හැකි ය. විහාරස්ථානවල දායකයන්ට පවා කරදර පැමිණිය හැකි ය. එබැවින් කියන ලද පුද්ගලයන් ද පැවිද්දට නුසුදුසු බව කිය යුතුය.
සසර දුකින් මිදී නිවනට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රද්ධාවෙන් ම පැවිදි වන්නට තැත් කරන අය අතර ද කිසිවකුට කීකරු කරගත නො හෙන දරුණු අසත්පුරුෂ පුද්ගලයෝ ද වෙති. ශ්‍රද්ධාව වනාහි කලින් කල අඩු වැඩි වන ඇති නැති වන ධර්මයෙකි. එය පෘථග්ජන පුද්ගලයන් කෙරෙහි සෑම කල්හි එක පමණට නො පවතී. අසත්පුරුෂයා ඔහු තුළ ශ්‍රද්ධාව උත්සන්නව තිබෙන තුරු හොඳ පැවිද්දකු වශයෙන් සිටී. ශ්‍රද්ධාව හීන වූ පසු නැති වූ පසු ඔහුගේ නපුරු ගති මතු කරන්නට පටන් ගනී. සමහර විට එබඳු අය පැවිදි ව පසු කාලයේ දී භාජන ටිකත් බිඳ දමා පන්සලටත් ගිනි තබා පලා ගිය මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ගෝලයා මෙන් ගුරුවරුන්ට හා අන්‍ය භික්ෂූන්ටත් මහත් අනර්ථ කරන්නාහ.
සසර දුකින් මිදී නිවන් පුරයට පැමිණීමේ අදහසින් පැවිදි වන්නට එන අය අතුරෙන් ද පැවිදි කළ යුතු අය ඉවසීම ඇති, අන්‍යයන් හා සමගියෙන් වාසය කළ හැකි, සාධාරණ අදහස් ඇති, මෛත්‍රී කරුණා ගුණ ඇති, ගුරුන් ගේ අවවාදානුශාසනා ආදරයෙන් පිළිගන්නා ස්වභාවය ඇති, ගුරු ගෞරවය ගුරු භක්තිය ඇති අවංක සත්පුරුෂයෝ ය. එබඳු පුද්ගලයෝ ම මේ බුදුසස්නෙහි දියුණුවට පැමිණෙන්නාහ. බුදු සස්න බබලවන්නෝ ද ඔවුහු ම ය.
කුලපුත්‍රයන් පැවිදි කිරීමට සුදුසු ආචාර්‍ය්‍යවරයෝ
මේ බුදු සස්නෙහි පැවිදි කොට ගෝලයන් තැනීම ද බරපතල කරුණෙකි. තමන් පැවිදි කරගත් ගෝලයන් ගේ කුඩා මහත් වරදවල් සොයා බලා ඒවා ගැන අවවාද අනුශාසනා කොට ඔවුන් සුමඟ යැවීමටත්, ධර්මවිනය උගන්වා ඔවුන් දියුණු කිරීමටත් නො සමත් අව්‍යක්ත භික්ෂූන් විසින් පැවිදි කරනු ලබන කුලපුත්‍රයෝ නොමඟ ගොස් දෙලොවින් ම පිරිහෙති. ගෝලයකු හික්මවීමට හා ඔහුට ප්‍රතිපත්ති පුහුණු කිරීමටත් ධර්ම විනය උගන්වා දීමටත් නො සමත් භික්ෂූන් අන්‍යයන් මහණ කිරීම ඒ අයට බලවත් අපරාධයක් කිරීමකි. එබැවින් තථාගතයන් වහන්සේ සියලු ම භික්ෂූන්ට ගෝලයන් තැනීමට අවසර නුදුන් සේක. “අනුජානාමි භික්ඛවෙ, ව්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙකදසවස්සෙන වා උපසම්පාදෙතුං නිස්සයං දාතුං” යනුවෙන් උපසම්පදා වී දසවසක් හෝ ඊට වැඩි කලක් හෝ ගත කොට ඇති ව්‍යක්ත ප්‍රතිබල වූ භික්ෂූන් හට ම ගෝලයන් තැනීමට අවසර දී වදාළ සේක. සුදුසුකම් නැති භික්ෂුවක් විසින් තමා උපාධ්‍යාය වී ගෝලයකු මහණ කළ හොත් ඇවැත් වේ.
උපාධ්‍යාය වී ගෝලයන් තැනීමට සුදුසු නුසුදුසු පුද්ගලයන්ගේ අංග තථාගතයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් වදාරා ඇත්තේ ය. ඒවා මහාවග්ග පාළියේ මහාඛන්ධකයෙන් දත හැකි ය. යටත් පිරිසෙයින් උපසම්පදාවෙන් දසවසක් ගත කොට ඇත්තා වූ ද, ගෝලයා හට තුදුස් ඛන්ධකයවත් පුරුදු කරදීමට හා ධර්ම විනය පුහුණු කිරීමට සමත් වූ ද, අනභිරතියක් ඇති වුවහොත් එය දුරු කිරීමට සමත් වූ ද, යම්කිසි කරුණක් ගැන සැකයක් ඇති වුවහොත් ධර්ම විනයානුකූලව එය දුරු කර දීමට සමත් වූ ද, ගෝලයා රෝගාතුර වුවහොත් උපස්ථාන කිරීමට හෝ කරවීමට සමත් වූ ද, භික්ෂුව ගෝලයන් මහණ කිරීමට සුදුසු වන්නේ ය. ලොකු පන්සල් නැති බව, පොහොසත් දායකයන් නැති බව, බොහෝ පන්සල් නැති බව, වතු කුඹුරු නැති බව, පිරිවෙන්වලට විද්‍යාලවලට ගෝලයන් යවා උගැන්වීමට වත්කම් නැති බව යන මේවා විනයේ හැටියට ගෝලයන් පැවිදි කිරීමට නුසුදුසු කම් නොවන බව කිව යුතු ය. එහෙත් මේ කාලයේ සැටියට නම් තමාගේ කැමැත්තේ සැටියට පාලනය කිරීමට බලය ඇති තැනක් නැත්තා වූ භික්ෂූන් විසින් අන්‍යයන් පැවිදි කිරීම සුදුසු යයි නො කිය හැකි ය.
කුලදරුවකු පැවිදි කොට අවවාදානුශාසනා කරමින් ඔහු හික්මවන්නා වූ ඔහුගේ සැපදුක් බලන්නා වූ ධර්ම විනය උගන්වා ඔහු දියුණු කරන්නා වූ ආචාර්‍ය්‍යවරයා උපාධ්‍යාය නම් වේ. “උපජ්ඣායො භික්ඛවෙ, සද්ධිවිහාරිකම්හි පුත්තචිත්තං උපට්ඨපෙස්සති, සද්ධිවිහාරිකො උපජ්ඣායම්හි පිතුචිත්තං උපට්ඨපෙස්සති” යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති පරිදි උපාධ්‍යායයා විසින් ගෝලයා කෙරෙහි පුත්‍රයෙක් ය යන සිත තබා ගත යුතුය. ගෝලයා විසින් ද උපාධ්‍යායයා කෙරෙහි පියෙක යන සිත තබා ගත යුතුය. එසේ අන්‍යොන්‍ය හිතවත් භාවයෙන් වාසය කිරීමෙන් මේ සස්නෙහි ඔවුහු දියුණුවට පැමිණෙන්නාහ.
“එවං ච පන භික්ඛවෙ, පබ්බාජෙතබ්බො, උප සම්පාදෙතබ්බො, පඨමං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා එකංසං උත්තරාසංගං කාරාපෙත්වා භික්ඛුනං පාදෙ වන්දාපෙත්වා උක්කුටිකං නිසීදාපෙත්වා අඤ්ජලිං පග්ගණ්හාපෙත්වා එවං වදෙහීති වත්තබ්බො, බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමිති, අනුජානාමි භික්ඛවෙ, ඉමෙහි තීහි සරණ ගමනෙහි පබ්බජ්ජං උපසම්පදන්ති.”
(මහාවග්ග මහා ඛන්ධක)
මහණෙනි, මෙසේ පැවිදි කළ යුතුය, මෙසේ උපසම්පදා කළ යුතුය. පළමු ව, කෙස් රැවුළු පහකර සිවුරු හඳවා උත්තරාසංගය ඒකාංස කරවා භික්ෂූන් ගේ පා වඳවා උක්කුටියෙන් හිඳවා ඇඳිලි බඳවා “බුද්ධං සරණං ගච්ඡාමි, -පෙ- තතියම්පි සංඝං සරණං ගච්ඡාමි” යි කියවිය යුතුය. මහණෙනි මේ සරණ ගමන තුනෙන් පැවිද්දත් උපසම්පදාවත් අනුදනිමිය” යනු එහි තේරුම ය.
බුදුසසුන පිහිට වූ මුල් කාලයේ දී මහණ උපසම්පදා දෙක ම සරණ ගමන මාත්‍රයෙන් සිදු කිරීමට අනුදැන වදාරා ක්‍රමයෙන් බොහෝ භික්ෂූන් ඇති වී සසුන දියුණු වූ පසු -
“යා සා භික්ඛවෙ, මයා තීහි සරණගමනෙහි උපසම්පදා අනුඤ්ඤාතා, තාහං අජ්ජතග්ගෙ පටික්ඛිපාමි. අනුජානාමි භික්ඛවෙ, ඤත්තිචතුත්ථෙන කම්මෙන උපසම්පදං.”
(මහා වග්ග මහා ඛන්ධක)
යනුවෙන් සරණ ගමන මාත්‍රයෙන් උපසම්පදා කිරීම ප්‍රතික්ෂේප කර වදාරා ඤප්තිචතුර්ථ කර්මවාක්‍යයෙන් උපසම්පදා කිරීම නියම කළ සේක. පැවිදි කිරීම පිළිබඳ වෙනසක් නො කළ බැවින් අද දක්වා ම සරණගමනයෙන් පැවිදි කිරීම එසේ ම කරනු ලැබේ.
පැවිදි කිරීම යනු හිස රැවුළු කැපීම, සිවුරු හැඳවීම, සරණ සමාදානය කරවීම යන මේ තුන් කිස සිදු කිරීම ය. එය සිදු කිරීමෙන් පසු ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා සාමණේර නමක් වන්නේ ය. ඒ තුන් කිසෙන් පළමු කළ යුත්ත හිසකේ කැපීම ය. පැවිදි වන තැනැත්තා කලින් හිසකේ කපවා ගෙන සිටිනවා නම් එසේ ම පැවිදි කළ හැකි ය. දෑඟුලකට වඩා දක් එක් කෙස් ගසකුදු ඇතියකු සේ හිසකේ භික්ෂුවක් විසින් කැපීම හෝ කැපවීම හෝ සිදු කරනවා නම් සීමස්ථක සියලු භික්ෂූන් රැස් කොට ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා සංඝයා ඉදිරියට පමුණුවා ඒ භික්ෂුව විසින් “ඉමස්ස භණ්ඩුකම්මං ආපුච්ඡාමි” යන වාක්‍යය වරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ කීමෙන් සංඝයා විචාරාම හිසකේ කැපිය යුතුයි. රැස් කිරීම අපහසු කල්හි භික්ෂූන් ඉන්නා තැන්වලට ගොස් වෙන වෙන ම විචාරීම ද සුදුසු ය. ග්‍රාම සීමාවෙහි භික්ෂූහු බොහෝ වෙත් නම් ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා බද්ධ සීමාවකට කැඳවා ගෙන ගොස් එහි ඉන්නා භික්ෂූන්ට ආරෝචනය කොට හිසකේ කැපිය යුතුයි. මෙසේ ආරෝචනය නො කොට දෑඟුලකට වඩා දික් හිසකේ කපන කපවන භික්ෂුවට දුකුලා ඇවැත් වේ.
පැවිදි වන්නවුන්ගේ හිසකේ කැපීම ගුරුවරයා විසින් ම හෝ ගුරුවරයාගේ නියමයෙන් හෝ කිරීම වඩා හොඳ ක්‍රමය යි. ගුරුවරයා විසින් හිසකේ කැපීම කරනවා නම් “තචපඤ්චක කර්මස්ථානය” ඔහුට කියා දෙමින් ම එය කළ යුතුය. අනෙකකු ලවා කපවනවා නම් ගුරුවරයා සමීපයෙහි සිට තචපඤ්චක කර්මස්ථානය ඔහුට කියා දිය යුතුය. මෙය ඉතා සැලකිය යුතු කරුණෙකි.
“තචපඤ්චක කර්මස්ථානය” යනු කෙස් - ලොම් - නිය - දත් - සම යන මේ ශාරීරික කොටස් පස පිළිබඳ සතිපට්ඨාන භාවනාව ය. මෙය කියා දෙන ගුරුවරයා විසින් ඉතා ආදරයෙන් පැහැදිලි ලෙස කියා දිය යුතු ය. කෙස් රොදක් ඔහුගේ අතට දී “දරුව, මේ කෙස් දෙස බලන්න. ඔබ සිත එයට යොමු කරන්න. මේ කෙස්වල පැහැයත් කැතය. සටහනක් කැතය, දුඟඳ නිසාත් මේවා කැතය, ලේ සැරව මලමුත්‍ර පිත් සෙම් ආදියෙන් හටගත් නිසාත් කැතය. ලොම් නිය දත් ආදි කුණප කොට්ඨාසයෙහි හටගත් දෙයක් වන නිසාත් මේ කෙස් කැතය” යි කෙස්වල පිළිකුල් බව කියා දිය යුතු ය. ලොම් නිය දත් සම යන කොටස් සතරේ පිළිකුල් බවත් එසේ සිතට වදින ලෙස කියා දිය යුතු ය. මේ අවස්ථාවේ දී කියාදෙන දෙය පැවිදි වන්නහුගේ සිතට තදින් කා වැදෙන්නේ ය. එබැවින් මේ අවස්ථාවෙහි කියා දෙන කමටහන මෙනෙහි කිරීමෙන් පෙර ජාතිවලත් භාවනා පුරුදු කර ඇත්තා වූ ඇතැම් කුලපුත්‍රයෝ හිසකේ කපා අවසන් කරනු සමග ම සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණෙති. එකෙණෙහි ම රහත්වීම කෙසේ වුවත් මේ අවස්ථාවේ දී කියා දෙන භාවනාව ඔහුගේ සිත් හි කා වැදී පවත්නේ ය. එය ඔහුට අනාගතයේ දී පිහිට වන්නේ ය. මෙය ගුරුවරයන් විසින් අමතක නො කළ යුතු ඉතා වැදගත් කරුණකි. හිස රැවුල් කැපීමෙන් පසු හොඳින් සබන් ගා කුණු උලා ගිහි ගඳ ඉවත් වන පරිදි ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා නෑවිය යුතු ය. පැවිදි වන තැනැත්තා කුණු උලා නා පිරිසිදු වීමට සමත් වේ නම් ඔහුට ම එය කර ගැනීමට ඉඩ හැරිය යුතු ය.
ස්නානය කොට පිරිසිදු වීමෙන් පසු ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා පැවිදි වන තැනට ගොස් තමා ගේ මාපියෝ එහි වෙත් නම් ඔවුන්ගේ පා වැඳ සමු ගෙන තවත් ඥාති මිත්‍රාදීන් පැමිණ ඇති නම් ඔවුන්ගෙන් ද සමු ගෙන සංඝයා ඉදිරියට ගොස් සියලු ම භික්ෂූන්ගේ පා වැඳ සිවුරු අතින් ගෙන උපාධ්‍යායයන් වහන්සේ ඉදිරියෙහි උක්කුටික ව හිඳ වැඳ ගෙන මේ වාක්‍යය කියා පැවිද්ද ඉල්ලිය යුතු ය.
“ඔකාසා: අහං භන්තෙ, පබ්බජ්ජං යාචාමි.
දුතියම්පි අහං භන්තේ, පබ්බජ්ජං යාචාමි.
තතියම්පි අහං භන්තේ, පබ්බජ්ජං යාචාමි.”
ඉක්බිති මේ වාක්‍යය කියා උපාධ්‍යායයන් වහන්සේ අතට සිවුරු පිළිගැන්විය යුතු ය.
“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. දුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය.
“සකල දුඃඛයන් ගේ නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පා කොට මේ සිවුරු ගෙන මා පැවිදි කරනු මැනවි.” යනු එහි තේරුම ය. මතු දැක්වෙන වාක්‍යය නැවත කියා නැවත ද පැවිද්ද ඉල්ලනු.
“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. දුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ අනුකම්පං උපාදාය.”
“සකල දුඃඛයන් ගේ නිවීම වන නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස තෙල සිවුරු දී අනුකම්පා කොට මා පැවිදි කරනු මැනවි.” යනු එහි තේරුම ය.
කියන ලද පරිදි තුන් වන වරත් පැවිද්ද ඉල්ලූ පසු භික්ෂුව විසින් ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයාට සිවුරු හැඳවීම හෝ කළ යුතු ය. “මේ සිවුරු මොහුට හඳවන්නය” කියා අනිකකුට හෝ ඒ සිවුරු දිය යුතු ය. “මේවා ගෙන හැඳ ගනුව” යි ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයාට හෝ ඒ සිවුරු දිය යුතු ය. මේ තුන් ක්‍රමයෙන් කවර ආකාරයකින් සිවුරු දුන ද එය භික්ෂුව ගේ දීමක් ම වන්නේ ය. සිවුරු හඳනා කල්හි මේ හඳින්නේ පොරොවන්නේ ශීතල වළකා ලනු පිණිස ය, උෂ්ණය වළකා ලනු පිණිස ය, මැසි මදුරු පීඩා වළකා ලනු පිණිස ය යනාදීන් ප්‍රත්‍යවේක්ෂා කෙරෙමින් ම සිවුරු හැඳීම පෙරවීම කළ යුතු ය. පැවිදි වන තැනැත්තේ ප්‍රත්‍යවේක්ෂාව නො දන්නේ නම් ගුරුවරයා විසින් එය කියා දෙමින් ම සිවුරු හැඳවිය යුතු ය.
මෙසේ සිවුරු ලබා ගත් පසු උත්තරාසංගය ඒකාංශ කොට පෙරවා ගෙන රැස් වූ භික්ෂූන්ගේ පා වැඳ ගුරුවරයා ඉදිරියේ උක්කුටියෙන් හිඳ වැඳ ගෙන තිසරණ සහිත පැවිදි දසශීලය සමාදන් විය යුතු ය.
සිල් ඉල්ලීමේ වාක්‍යය
“ඕකාස, අංහ භන්තේ, තිසරණෙන සද්ධිං පබ්බජ්ජා දසසීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. දුතියම්පි අහං භන්තේ, තිසරණේන සද්ධිං පබ්බජ්ජා දසසීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. තතියම්පි අහං භන්තේ තිසරණෙන සද්ධිං පබ්බජ්ජා දස සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දෙථ මෙ භන්තෙ”
මේ වාක්‍යයෙන් තිසරණ සහිත පැවිදි දසසීලය ඉල්ලූ කල්හි “යමහං වදාමි තං වදේථ” යන වාක්‍යය කියනු ලැබේ. එහි තේරුම, “මා කියන දෙය කියව” යනු යි. පැවිදි වන තැනැත්තා විසින් “ආම භන්තේ” යි පිළිතුරු දිය යුතු ය. “එසේය ස්වාමීනි” යනු එහි තේරුම යි. ඉන් පසු “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යන නමස්කාර පාඨය කිය යුතුයි. ඉන් පසු ගුරුවරයා විසින් කියවන පරිදි මකාරාන්ත වශයෙනුත් නිග්ගහිතාන්ත වශයෙනුත් කියා සරණ සමාදන් විය යුතු ය.
මකාරාන්ත සරණගමන පාඨය
බුද්ධම්, සරණම්, ගච්ඡාමි.
ධම්මම්, සරණම්, ගච්ඡාමි.
සංඝම්, සරණම්, ගච්ඡාමි.
-
දුතියම්පි, බුද්ධම්, සරණම්, ගච්ඡාමි.
දුතියම්පි, ධම්මම්, සරණම්, ගච්ඡාමි.
දුතියම්පි, සංඝම්, සරණම්, ගච්ඡාමි.
-
තතියම්පි, බුද්ධම්, සරණම්, ගච්ඡාමි.
තතියම්පි, ධම්මම්, සරණම්, ගච්ඡාමි.
තතියම්පි, සංඝම්, සරණම්, ගච්ඡාමි.
මෙය කියවන කල්හිත්, කියන කල්හිත් වචන වෙන් වෙන් කොට කිය යුතු ය. නො නවත්වා ඒකාබද්ධ කොට නො කිය යුතු ය. නිග්ගහිතාන්ත සරණගමන පාඨය ඒකාබද්ධ කොට කිය යුතු ය.
නිග්ගහිතාන්ත සරණගමන පාඨය
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
-
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
-
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
මෙය කියවීමෙන් පසු ගුරුවරයා විසින් “සරණාගමනං සම්පුණ්ණං” යි කී කල්හි ගෝලයා විසින් “ආම භන්තේ” යි පිළිතුරු දිය යුතු ය. මේ සරණ සමාදානයෙන් සාමණේර භාවය සිද්ධ ය. සාමණේර භාවය ලැබූවහු විසින් සමාදන් වුවත් නුවූවත් සික පද දශය බුද්ධාඥාව පරිදි රැකිය යුතු ය. වඩා ගෞරවය පිණිස ආචාර්‍ය්‍යවරයෝ සික පද කියවා සාමණේරයන්ට දසසිල් සමාදන් කරවති. සමාදන් කරවීමත් ඒ ඒ ආචාර්‍ය්‍යවරයන්ට කැමති පරිදි කරවති. ලක්දිව බොහෝ ආචාර්‍ය්‍ය වරයන් සමාදන් කරවන ක්‍රමය මෙසේ ය.
පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචරියා වේරමණී. මුසාවාදා වේරමණී, සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී. විකාලභෝජනා වේරමණී, නච්චගීත වාදිත විසූකදස්සනා වේරමණී, මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී, උච්චාසයන මහාසයනා වේරමණී, ජාතරූපරජත පටිග්ගහණා වේරමණී, ඉමානි පබ්බජ්ජා දසසික්ඛාපදානි සමාදියාමි. ඉමානි පබ්බජ්ජා දසසික්කාපදානි සමාදියාමි. ඉමානි පබ්බජ්ජා දසසික්ඛාපදානි සමාදියාමි.
මෙසේ සිකපද සමාදන් කරවීමෙන් පසු ගුරුවරයා විසින් “තිසරණේන සද්ධිං පබ්බජ්ජා දසසීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේතබ්බං” යි කියනු ලැබේ. එකල්හි සාමණේර නම විසින් “ආම භන්තේ”යි කියා පිළිවදන් දිය යුතු ය.
සික පද සමාදන් කරවීමේ අනිත් ක්‍රමය
උපාධ්‍යාය ග්‍රහණය
කුඩා මහත් වරදවල් බලා ඒවා පෙන්වා දෙමින් අවවාදානුශාසනා කරන ගුරුවරයා උපාධ්‍යාය නම් වේ. තිසරණ සහිත දශ ශීලය, කියවීමට සමත් කවර භික්ෂුවක ගෙන් වුවද සමාදන් විය හැකි ය. සියලු භික්ෂූහු ම උපාධ්‍යාය භාවයට සුදුස්සෝ නො වෙති. සිල් දුන් භික්ෂූන් වහන්සේ ම උපාධ්‍යාය වෙත හොත් සිල් සමාදන් වී අවසානයෙහි “උපජ්ඣායෝ මේ භන්තේ හෝහි” යන වාක්‍යය තෙවරක් කියා උපාධ්‍යාය ග්‍රහණය කළ යුතු ය. උපාධ්‍යායයන් වහන්සේ විසින් “පාසාදිකේන සම්පාදේහි” යි කී කල්හි “ආම භන්තේ” යි පිළිවදන් දිය යුතු ය. සිල් දුන් භික්ෂුව උපාධ්‍යාය නො වන කල්හි උපාධ්‍යයායන් වහන්සේ වෙත ගොස් උපාධ්‍යාය ගැනීම කළ යුතු ය. උපාධ්‍යාය කෙනකුන් නො මැති ව විසීම නුසුදුසු ය. උපාධ්‍යාය ග්‍රහණයෙහි තේරුම “ස්වාමීනි, නුඹ වහන්සේ මා හට වරදවලට අවවාද අනුශාසන කරන ගුරුවරයා වන සේක්වා” යි ඉල්ලීමක් කිරීම ය. ඒ ඉල්ලීම පිළිගැනීම් වශයෙන් උපාධ්‍යායයන් වහන්සේ විසින් “පාසාදිකේන සම්පාදේහි” කියා හෝ “සාහු, ලහු, ඕපායිකං, පතිරූපං” යන වචනවලින් එකක් හෝ කියන ලදුයේ නම් උපාධ්‍යාය ග්‍රහණය සිද්ධ වේ. භික්ෂුව ඒ ඉල්ලීම පිළිගත් බව කයින් හෝ වචනයෙන් හෝ ඇඟවීමක් නෝ කළ හොත් උපාධ්‍යාය ග්‍රහණය සිදු නොවන්නේ ය.
ගුරුවරයා විසින් අලුත් සාමණේර නමට කැප අකැප සියල්ල කියා දිය යුතු ය. හැඳීම් පෙරවීම් යෑම් ඊම් කෑම් බීම් ආදිය කරන සැටි උගැන්විය යුතු ය. අලුත් සාමණේර නමට ඒවා පුරුදු පුහුණු වන තුරු දන් පිරිත් ආදි කිසිවකට පිටත නො යවා සමීපයෙහි නවත්වා ගෙන දශනාශනාංගයන්ගෙන් එකකට ද නො පැමිණෙන ලෙස ආරක්ෂා කළ යුතු ය.
සරණ ගමනය
ගෘහස්ථයන්ගේ සරණ ගමනය, සාමණේරයන්ගේ සරණ ගමනය යන මේ දෙක්හි මහත් වෙනසක් ඇත්තේ ය. බුද්‍ධරත්නය, ධර්මරත්නය, සංඝරත්නය යන මේ වස්තු තුන තමාට උසස් පිහිටක් ලෙස පිළිගැනීමෙන් ගිහියා සරණ ගත වන්නේ ය. ගිහියාගෙන් සරණ ගමනය කැමති භාෂාවකින් කැමති සැටියකින් කියා සිදු කළ හැකි ය. එය බිඳෙන්නේ බුදුන්ගෙන් ධර්මයෙන් සංඝයා ගෙන් වැඩක් නැත ය කියා රත්නත්‍රය ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ අනික් ආගමක් පිළිගැනීමෙනි. ප්‍රාණඝාතාදි පාප ක්‍රියා කිරීමෙන් ගිහියාගෙන් සරණ ගමනය නො බිඳේ.
සාමණේර සරණ ගමනය එක්තරා විනය කර්මයෙකි. එයින් සිදු වන්නේ සාමණේර භාවයට පැමිණීම ය. පාලි භාෂාවෙන් ම මිස අන් බසකින් සිකපද කීමෙන් සාමණේර භාවය නො පිහිටන්නේ ය. ගිහියන්ගේ සරණගමනය තමා විසින් සිකපද කියා ගැනීමෙන් සිදු වේ. සාමනේර සරණගමනය සිදුවන්නේ ගුරුගෝල දෙදෙනාගේ කීමෙනි. අනුපසම්පන්නයකු ලවා කියවා ගැනීමෙන් ද සාමණේර සරණ ගමනය සිදු නො වේ. “බුද්‍ධං සරණං ගච්ඡාමි” යනාදි පාඨ එක අකුරකුදු එක වචනයකුදු නො වරදවා ස්ථාන කරණ සම්පත්තියෙන් යුක්ත කොට ගුරු ගෝල දෙදෙනා ගෙන් ම නො කියවුණ හොත් සාමණේර භාවය නො පිහිටන්නේ ය. එබැවින් සරණ සමාදානය වන කල්හි අල්ප අකුර අල්ප අකුරක් සැටියටත් මහා ප්‍රාණ අකුර, මහාප්‍රාණ අකුරක් සැටියටත් දීර්‍ඝ අකුර, දීර්‍ඝ අකුරක් සැටියටත් හ්‍රස්ව අකුර, හ්‍රස්ව අකුරක් සැටියටත් නො වරදවා ම උච්චාරණය කළ යුතු ය. දත් නැති මහලු තෙරුන් වහන්සේලාට දන්තජාක්ෂර හරියට උච්චාරණය නො කළ හැකි ය. දත් නැතියකු විසින් ගෝලයකු මහණ කරනවා නම් අනික් භික්ෂුවක් ලවා සරණ සමාදන් කරවා උපාධ්‍යාය දීම පමණක් තමා විසින් කළ යුතු ය.
බින්දුව උච්චාරණයට දුෂ්කර වර්ණයෙකි. බින්දු උච්චාරණය වැරදුණහොත් සාමණේර භාවය නො පිහිටන බැවින් එය උච්චාරණයට අසමත් අය විසින් “බුද්ධම්, සරණම්, ගච්ඡාමි” යනාදි මකාරාන්ත කොට සරණ සමාදානය විනය අටුවාවෙහි නියම කොට තිබේ. මකාරාන්ත කොට උච්චාරණය කිරීම ය, නිග්ගහිතාන්ත කොට උච්චාරණය කිරීමය යන මේ ක්‍රම දෙකින් එක් ආකාරයකින් සමාදන් වීමෙන් ම සරණ පිහිටන්නේ ය. වඩා පිරිසිදුවීම සඳහාත්, නිසැක වීම සඳහාත් ආචාර්‍ය්‍යවරයෝ ඒ දෙයාකාරයෙන් ම සරණ සමාදන් කරවති.
වෙළඳාම් ගොවිකම් ආදිය කොට ධනය සපයා දිවි පැවැත්වීමට පැවිද්දන්ට අවසරයක් නැත. එසේ ජීවත් වත හොත් එය මිථ්‍යාජීවිකාවෙකි. පැවිදි වීමෙන් පසු ජීවත් විය යුත්තේ සැදැහැවතුන් දෙන සිවුපසයෙනි. “මේ පැවිද්දන් වහන්සේලා සිල්වත්හුය, ගුණවත්හු ය. ඔවුහු පූජා සත්කාර කිරීමට සුදුස්සෝ ය.” යි සලකා සැදැහැවත්හු ඩහදිය මහන්සියෙන් ඉතා දුක සේ සපයා ගත් වස්තුව තමන්ගේ ප්‍රයෝජනයට නො ගෙන දූ දරුවන්ට නොදී භික්ෂූන්ට දෙන්නාහ. සමහරවිට තමන් යම්තම් දෙයකින් යැපී ප්‍රණීතවත් ලෙස දානය පිළියෙළ කොට දෙන්නාහ. සමහර විට තමන් නිරාහාර ව සිට ද පැවිද්දන්ට දන් දෙන්නාහ. එසේ දෙන සිවුපසය ගැන සැලකිල්ලක් නැති ව විනෝදයෙන් පරිභෝග කරනවා නම්, තෘෂ්ණා මානාදිය වඩමින් ඒවායේ ඇලී ගැලී මුළාවට පැමිණ ඒවා පරිභෝග කරනවා නම්, එය බරපතළ කරුණෙකි.
ථෙය්‍යපරිභෝගය ඉණපරිභෝගය දායජ්ජපරිභෝගය සාමිපරි-භෝගය කියා සිවුපස පරිභෝග කිරීම් සතරක් ඇත්තේ ය.
මෙ ශාසනයෙහි භික්ෂුසාමණේරයන්ට චීවරාදි සිවුපසය ලැබෙන්නේ ඒවා පිළිගැනීමට තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති නිසාය. උන් වහන්සේ නො අනු දැන වදාළ සේක් නම්, මේ සිවුපසය නො ලැබෙන්නේ ය. එබැවින් ඒ සිවුපසය බුදුන් වහන්සේ අයත් ය. උන් වහන්සේ ඒවා අනුදැන වදාළේ දුශ්ශීලයන්ට නොව සිල්වතුන්ට ය. දුශ්ශීලයන්ට ඒවා අයිති නැත. සැදැහැවතුන් ඒවා දෙන්නේ “මේ භික්ෂූහු සිල්වත්හුය” යි සලකා ගෙන ය. ඒ නිසා ද දුශ්ශීලයන්ට ඒවා අයිති නැත. සිල්වතුන්ට ම අනුදැන වදාළ, සිල්වතුන්ට ම දෙන සිවුපසය දුශ්ශීල ව හිඳ පරිභෝග කිරීම සොරකමෙකි. එබැවින් එසේ කරන පරිභෝගය “ථෙය්‍ය පරිභෝග” නම් වේ.
සිවුපසය සිල්වතුන් විසින් ද පරිභෝග කළ යුත්තේ ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්ත ය. මිනිසුන්ට ප්‍රයෝජන වන ආහාර පාන වස්ත්‍රාදි සියල්ල ම තෘෂ්ණා මාන ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍යාදි ක්ලේශයන්ට වස්තූහු ය. මේ සිවුර ලස්සන ය සිනිඳුය හොඳය කියා සිවුර ගැන තෘෂ්ණාව උපදී. මේ ආහාරය රසය - ගුණය - හොඳය කියා ආහාර ගැන ද, මේ ආවාසය මේ ඇඳ පුටු කොට්ට - මෙට්ට ඇතිරිලි හොඳය කියා ද එසේ ම තෘෂ්ණාව උපදී. හොඳ සිවුරු දෙස බලා මෙවැනි සිවුරු ලබන මම කොතරම් වාසනාවන්තයෙක් ද, මෙසේ ප්‍රණීත දානය ලබන හොඳ ආවාසයෙක වෙසෙන හොඳ ඇඳ පුටු ආදිය පරිභෝග කරන මම කොතරම් වාසනා වන්තයෙක් ද කියා, චීවරාදිය ගැන මානය උපදී. තමාට අයත් ව ඇති ප්‍රත්‍යයෙන් අනිකකු ප්‍රයෝජන ලබනවාට නො කැමැත්ත වූ මාත්සර්‍ය්‍යය ද, අන්‍යයන්ට එවැනි ප්‍රත්‍යය ලැබෙනවාට විරුද්ධත්වය වූ ඊර්ෂ්‍යාව ද උපදනේ ය. තමාගේ ප්‍රත්‍යවලට හානියක් වන කල්හි කෝපය ඇති වේ. බාල සිවුරක් ලද හොත් කටුක ආහාරයක් ලද හොත් එකල්හි ද ද්වේෂය උපදී. පැවිද්දන්ට දීම දායකයන්ට මහත්ඵල වන්නේ සිවුපසය නිසා උපදින කෙලෙස් නූපදනා ලෙස පැවිද්දන් විසින් ඒවා පරිභෝග කළ හොත් ය. ඒවා පරිභෝග කිරීමේ දී කෙලෙස් නූපදින්නට ඇත්තා වූ උපාය නම් ප්‍රත්‍යවේක්ෂා කිරීම ය. ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්ත ව කෙලෙස් නූපදනා පරිදි ප්‍රත්‍ය පරිභෝග කළා ම දායකයන්ට ඒ ප්‍රත්‍යය දානය මහත් ඵල වේ. ප්‍රත්‍යවේක්ෂාවෙන් තොර ව තෘෂ්ණා මානාදියෙන් යුක්ත ව ඒවා පරිභෝග කළ හොත් දායකයන්ට මහත් ඵල නො වේ. මහත් ඵලයක් බලාපොරොත්තුවෙන් දෙන සිවුපසය පිළිගෙන දුන්නහුට මහත් ඵල නො වන සැටියට පරිභෝග කිරීම ණයට ගැනීමක් වැනිය. එසේ ඒ සිවුපසය පරිභෝග කළ පැවිද්දාහට අනාගත භවවලදී දායකයන්ට ණය ගෙවන්නට සිදුවේ. ප්‍රත්‍යවේක්ෂාවෙන් තොරව ණයකාරයකු වන පරිදි කරන සිවුපස පරිභෝගය ඉණපරිභෝග නම් වේ. සිවුපස පරිභෝගයට සුදුස්සකු වීමට ශීලය ම ප්‍රමාණවත් නො වේ. ඉණපරිභෝග භාවයෙන් මිදීමට සිල්වතුන් විසින් ද ප්‍රත්‍යවේක්ෂා කොට සිවුපසය පරිභෝග කළ යුතු ය.
ප්‍රත්‍යවේක්ෂා නො කොට ප්‍රත්‍ය පරිභෝග කිරීම සුළු දෙයක් නොව මහත් වරදකි. තථාගතයන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂාවෙන් තොරව ආහාරයෙහි ගිජු ව එය වළඳන නවක පැවිද්දන් දැක, ඉමහත් සංවේගයට පැමිණ, පස් වන පාරාජිකාවක් පනවත හොත් ප්‍රත්‍යවේක්ෂා නොකොට ආහාර වැළඳීම පස් වන පාරාජිකාව ලෙස පැනවිය යුතු බවත්, එහෙත් ආහාරය සත්ත්වයන් විසින් සැමදා අනුභව කළ යුත්තක් වන නිසා ඒ ගැන එතරම් මහත් සිකපදයක් පැනවීම නුසුදුසු බවත් සිතා වදාරා,[1] මේ සූත්‍රය දේශනය කළ කල්හි භික්ෂූහු ප්‍රත්‍යවේක්ෂා නො කරන ආහාර වැළඳීම මහත් වරදක් බව දැක ප්‍රත්‍යවේක්ෂා කොට සිවුපසය පරිභෝග කරන්නාහු යි සලකා “පුත්‍රමාංසෝපම සූත්‍රය” වදාළ බව සංයුක්ත නිකායට්ඨ කථාවෙහි කියා තිබේ. තථාගතයන් වහන්සේ විසින් ධර්ම දායාද සූත්‍රය දේශනා කරන ලද්දේ ද මේ කරුණ නිසා ම ය.
සෝවාන් සකෘදාගාමි අනාගාමි යන ශෛක්ෂ පුද්ගලයන් තිදෙනාගේ ප්‍රත්‍යය පරිභෝගය දායජ්ජපරිභෝග නම් වේ. ඔවුහු තථාගතයන් වහන්සේගේ පුත්‍රයෝ ය. පුත්‍රයෝ වනාහි පියාගේ දෙයට උරුමක්කාරයෝ ය. ශාසනයට ලැබෙන ප්‍රත්‍යය තථාගතයන් වහන්සේ අයත් ය. ශෛක්ෂ පුද්ගලයෝ තථාගතයන් වහන්සේගේ පුත්‍රත්වයට පැමිණ ඒ ප්‍රත්‍යය තමන්ගේ උරුමය වශයෙන් පරිභෝග කරන්නාහ. උරුම දෙය පරිභෝග කිරීම නිරවද්‍ය පරිභෝගයෙකි.
රහතන් වහන්සේලාගේ ප්‍රත්‍යයපරිභෝගය සාමිපරිභෝග නම් වේ. උන්වහන්සේලා තෘෂ්ණා දාසත්වයෙන් මිදී හිමියන් වී ප්‍රත්‍යය පරිභෝග කරති. සකල ක්ලේශයන් ප්‍රහාණය කොට ශුද්ධියට පැමිණ වාසය කරන බැවින් ද දාන මහත් ඵල කිරීමට සමත් වී ඉන්නා බැවින් ද රහතන් වහන්සේලා මහත් ඵලය අපේක්ෂා කොට දෙන දානය පිළිගැනීමට සර්වාකාරයෙන් ම සුදුසු වන්නාහ. එබැවින් ද උන් වහන්සේලා ශාසනයට ලැබෙන ප්‍රත්‍යයේ ස්වාමිවරු වන්නාහ.
මේ පරිභෝගයන් ගෙන් දායජ්ජපරිභෝග සාමි පරිභෝග දෙක නිරවද්‍ය පරිභෝගයෝ ය. ඉණපරිභෝග ථෙය්‍යපරිභෝග දෙක සාවද්‍ය පරිභෝගයෝ ය. සිල්වත් පැවිද්දන් විසින් ප්‍රත්‍යවේක්ෂා කොට කරන පරිභෝගය ඉණපරිභෝගයට විරුද්ධ බැවින් අනණ පරිභෝග නම් වේ. ණය ඇති පරිභෝගය යනු එහි තේරුම ය. එයත් දායජ්ජ පරිභෝගයට ඇතුළත් වන බව ද කිය යුතු ය.
මනුෂ්‍යයෝ ආහාර පාන වස්ත්‍රාදිය නොයෙක් කරුණු ගැන පරිභෝග කෙරෙති. ඒ කරුණු අතර කෙලෙස් වැඩීමට හේතු වන කරුණු ද ඇත්තේ ය. ඒවා නුසුදුසු කරුණු ය. කෙලෙස්වලට හේතු නොවන කරුණු ද ඇත්තේ ය. ඒවා සුදුසු කරුණු ය. මෙහි “ප්‍රත්‍යවේක්ෂාව” යි කියනුයේ චීවරාදිය පරිභෝග කිරීමේ දී සුදුසු කරුණු මෙනෙහි කිරීමට හා චීවරාදි ප්‍රත්‍යයන් ධාතු වශයෙන් ද ප්‍රතිකූල වශයෙන් ද මෙනෙහි කිරීමට ය. ඉණ පරිභෝගයෙන් මිදෙන්නට නම් අඳනය අඳින වාරයක් පාසා ම සිවුරු පොරවන වාරයක් පාසා ම, ආහාර වැළඳීමේ පිඩක් පාසා ම ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. එසේ නො කළ හැකි තැනැත්තා විසින් දිනකට කීප වරක් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ය. එසේ ද නො හැකි නම් අරුණට පළමු නැඟිට ඒ දිනයේ පරිභෝග කළ සියලු ම ප්‍රත්‍යයන් ගැන ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ය. ප්‍රත්‍යවේක්ෂා නො කොට දවස ඉක්ම ගියේ නම් එදින කළ යුතු ප්‍රත්‍යය පරිභෝගය ඉණ පරිභෝග භාවයට පැමිණේ. සෙනසුන් ප්‍රත්‍යවේක්ෂාව සෙනසුනට පිවිසෙන වාරයක් පාසා කළ යුතුය. නොහැකි වුවහොත් චීවරයට කී පරිදි පිළිපැදිය යුතු ය. ගිලන්පස ගත යුත්තේ කරුණක් ඇති කල්හි පමණෙකි. එය පිළිගන්නා අවස්ථාවෙහි හා පරිභෝග කරන අවස්ථාවෙහි ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ය. ගිලන්පස වළඳා පසුව ප්‍රත්‍යවේක්ෂා කිරීම එයට ප්‍රමාණ නොවේ. පිළිගැනීමේ දී ප්‍රත්‍යවේක්ෂා නො කළ හැකිවී නම් පරිභෝගයේ දී නො වරදව ම එය කළ යුතුය. නො කළ හොත් භික්ෂූන්ට ඇවැත් වන බව කියා තිබේ.
ප්‍රත්‍යවේක්ෂා කිරීමේ දී බොහෝ දෙනා පාළි පාඨ භාවිත කරති. පාළි පාඨවලින් ප්‍රත්‍යවේක්ෂා කිරීම සුදුසු වන්නේ සිංහල වචනයක් කියන කල්හි එහි අර්ථය තමන් ගේ සිතට එන්නාක් මෙන් පාළි වචනය කියවනවාත් සමග ම එහි අර්ථය තමන්ගේ සිතට එන තරමට පාළි භාෂාව හුරු පුරුදු අයට පමණෙකි. “ප්‍රත්‍යවේක්ෂා කෙරෙමි” යි තමාට නොතේරෙන පාළි පාඨයක් කීවාට එයින් ප්‍රත්‍යවේක්ෂා කෙළේ නො වන්නේ ය. එබැවින් පාළිය හොඳට නුහුරු අය විසින් සිය බසින් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ය. තරමකට පාළි භාෂාව හුරු අයට සුදුසු වන්නේ සිය බසින් ප්‍රත්‍යවේක්ෂා කිරීම ම ය.
පැවිද්දන් හඳින පොරවන වස්ත්‍ර සියල්ල චීවර නම් වේ. ලස්සන වීම සඳහා උසස් ලෙස පෙනී සිටීම සඳහා සිවුරු පරිභෝග කරනවා නම් එය නුසුදුසු කරුණු අනුව සිවුරු පරිභෝග කිරීමකි. එයින් තණ්හාවත් මානයත් සත්කාය දෘෂ්ටියත් වැඩෙන්නේ ය. ශීත නැති කර ගැනීමට සිවුරු පරිභෝග කිරීම සුදුසු ය. ගිනි රස්නය අව් රස්නය වළක්වා ගැනීමට සිවුරු පරිභෝග කිරීම සුදුසු ය. මැස්සන් ගෙන් මදුරුවන්ගෙන් සුළඟින් අව්වෙන් පත්තෑ ගෝණුසු ආදි සර්පයෙන් ගෙන් විය හැකි පීඩා වළකා ගැනීමට සිවුරු පරිභෝග කිරීම සුදුසු ය. ශරීරයේ ඇතැම් තැන් නො වසා සිටින්නාට ක්‍රමයෙන් ලජ්ජාව නැති වී යන්නේ ය. ලජ්ජාව නැති වීමත් නපුරෙකි. එය මනුෂ්‍යයාට තිරිසන් ගතියක් ඇති වීමකි. නො වසා තබත හොත් ලජ්ජාව නැති වන ස්ථාන වසා ගැනීමට සිවුරු පරිභෝග කිරීමත් සුදුසු ය. මෙසේ සිවුරු පරිභෝගයට සුදුසු කරුණු සතරක් ඇත්තේ ය. මේ කරුණු තේරුම් ගෙන සිවුරු පරිභෝග කිරීමේ දී මෙසේ සිය බසින් සිහි කරන්න.
මා මේ සිවුරු පරිභෝග කරන්නේ ශීතල නැතිකර ගැනීමට ය. උෂ්ණය වළක්වා ගැනීමට ය. මැසි මදුරුවන්ගෙන් අව්වෙන් සුළඟින් පත්තෑ ගෝණුසු ආදි සර්පයන් ගෙන් විය හැකි පීඩා වළක්වා ගැනීමට ය. නො වැසුව හොත් ලජ්ජාව නැති වන ශරීරාවයවයන් වසා ගනු පිණිස ය.
ලස්සන ඇති නැති වටිනාකම් ඇති නැති කිනම් සිවුරකින් වුවද ඉහත කී ප්‍රයෝජන සතර ලැබිය හැකි ය. එ බැවින් කියන ලද පරිදි සුදුසු කරුණු අනුව නුවණින් මෙනෙහි කොට සිවුරු පරිභෝග කරන පැවිද්දට “සිවුරු හොඳය” කියා එය ගැන තණ්හාවක් නූපදී. ලස්සන සිවුරු වටිනා සිවුරු සෙවීමේ තණ්හාව ද ඇති නො වේ. මට මිස තවත් අයට මෙබඳු සිවුරු කොයින් ද කියා මානයක් නූපදින්නේ ය. සිවුරු නරකය අවලස්සනය කියා දොම්නසක් ද නො වන්නේ ය. එසේ වූ පැවිද්දා කෙලෙසුන් ගෙන් මිදී නිරවද්‍ය ලෙස සිවුරු පරිභෝග කරන්නේ ය.
ප්‍රත්‍යය ලද අවස්ථාවෙහි කරන ප්‍රත්‍යවේක්ෂාවය පරිභෝග කරන අවස්ථාවේ දී කරන ප්‍රත්‍යවේක්ෂාව යයි ප්‍රත්‍යවේක්ෂාව දෙපරිදි වේ. ලැබූ අවස්ථාවේ දී ධාතු වශයෙන් හෝ ප්‍රතිකූල වශයෙන් හෝ ප්‍රත්‍යවේක්ෂා කොට තැබූ චීවරාදිය පරිභෝග කිරීමේ දී ප්‍රත්‍යවේක්ෂා නො කෙළේ ද නිවරද බව කියා තිබේ. ප්‍රතිලාභ කාල, පරිභෝග කාල දෙක්හි ම ප්‍රත්‍යවේක්ෂා කිරීම වඩා යහපත් බව කිය යුතු ය. ධාතු වශයෙන් කරන ප්‍රත්‍යවේක්ෂාව තරමක් ගැඹුරු කරුණෙකි. එය හොඳට හරියන හැටියට කළ හැකි වීමට නම් තරමක් දුරට පරමාර්ථ ධර්ම විභාග ගැන දැන සිටිය යුතු ය.
ධාතු වශයෙන් චීවර ප්‍රත්‍යවේක්ෂාව කළ යුත්තේ මෙසේය: පඨවි - අපෝ - තේජෝ - වායෝ යන ධාතු සතරින් නිර්මිත මේ චීවරය ධාතු සමූහයෙකි. සිවුරු හඳවන පොරවන මෙම ශරීරය ද ධාතු සමූහයෙකි. ධාතු සමූහයක් වූ මේ ශරීරය ධාතු සමූහයක් ම මිස සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ ය. එබැවින් සිවුරු ද ඒවා ශරීරයක වෙළී ඇති බව නො දන්නේ ය. ශරීරය ද තමා කෙරෙහි සිවුරු වෙළී ඇති බව නො දන්නේ ය. ශරීරයත් සිවුරුත් ඔවුනොවුන් ගැන අපේක්ෂාවක් නැතිව පවත්නේ ය.
මෙසේ ධාතු වශයෙන් මෙනෙහි කිරීමෙන් චීවර නිසා ඇති විය හැකි තෘෂ්ණා මාන දුරු වන්නේ ය. විශේෂයෙන් සත්කාරය දෘෂ්ටිය දුරුවන්නේ ය.
ප්‍රතිකූල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුත්තේ මෙසේය: මහ සිදුරු නවයකින් හා බොහෝ කුඩා සිදුරුවලින් මල මුත්‍ර කෙළ සොටු ඩහදිය උතුරන වැගිරෙන මේ ශරීරයට පැමිණීමෙන් පවිත්‍ර වූ මේ චීවරය අපවිත්‍ර වී පිළිකුල් බවට පැමිණෙන්නේ ය.
ආහාර වැළඳීමට ද සුදුසු නුසුදුසු කරුණු ඇත්තේ ය. යමක් ලද කල්හි ගම් දරුවෝ ඔවුනොවුන් පොර කකා ක්‍රීඩා පිණිස එය අනුභව කරති. පැවිද්දන් විසින් සැදැහැවතුන් දෙන ආහාරය එසේ ක්‍රීඩා පිණිස වැළඳීම නුසුදුසු ය.
පොර බදන්නවුන් සේ යුද්ධ භටයන් සේ පුරුෂ මදය වඩනු පිණිස සැදැහැවතුන් දෙන ආහාර වැළඳීම නුසුදුසු ය.
මස් අඩුතැන්වල මස් වඩවා ගැනීම පිණිස ශරීරය මහත් කර ගැනීම පිණිස සැදැහැවතුන් දෙන දානය වැළඳීම නුසුදුසු ය.
වෙසඟනුන් සේ ශරීරය පැහැපත් කිරීම පිණිස සැදැහැවතුන් දෙන දානය වැළඳීම නුසුදුසු ය.
ශරීරයත් ජීවිතයත් පවත්වා ගැනීම සඳහා සැදැහැවතුන් දෙන දානය වැළඳීම සුදුසු ය.
සා දුක දුරු කරගැනීම පිණිස ආහාර වැළඳීම සුදුසු ය.
නිරාහාර ව ශාසනයෙහි පිළිවෙත් නො පිරිය හැකි ය. මේ ශාසනයෙහි ශ්‍රමණ ප්‍රතිපත්තිය පිරිය හැකි වීම සඳහා ආහාර වැළඳීම සුදුසු ය.
නුවණින් යුක්ත ව මේ ආහාරය වැළඳීමෙන් සාගිනි වේදනාව ද දුරුවන්නේ ය. පමණ ඉක්මවා ආහාර ගැනීමෙන් වන වේදනාව ද ඇති නොවන්නේ යයි සලකා ආහාර වැළඳීම සුදුසු ය.
ප්‍රමාණ යුක්ත ව ආහාර වැළඳීමෙන් ජීවිතය චිර කාලයක් පවත්නේ යයි සලකා ආහාර වැළඳීම සුදුසු ය.
නුවණින් ආහාර වැළඳීමෙන් මාගේ ජීවිතය චිර කාලයක් පවත්නේ යයි ආහාර වැළඳීම සුදුසු වන්නේ ය.
නුවණින් ආහාර වැළඳීමෙන් ඇත්තා වූ සාගිනි වේදනාව දුරු වන්නේ ය. පමණ ඉක්මවා වැළඳීමෙන් වන අළුත් වේදනා ද නූපදින්නේ යයි ආහාර වැළඳීම සුදුසු ය.
ප්‍රමාණ යුක්තව ආහාර වැළඳීමෙන් ජීවිතය චිර කාලයක් පවත්නේ යයි සලකා ආහාර වැළඳීම සුදුසු ය.
මෙසේ නුවණින් ආහාර වැළඳීම අයුතු ලෙස ආහාර සොයා වැළඳීමක් නොවන බැවින් නිවැරදි ප්‍රත්‍යය පරිභෝගයක් වන්නේ ය. මෙසේ ප්‍රමාණ යුක්ත ව වැළඳීමෙන් සුවසේ විසිය හැකි වන්නේ යයි සලකා ආහාර වැළඳීම සුදුසු ය.
මෙසේ ආහාර වැළඳීමට සුදුසු නුසුදුසු කරුණු නුවණින් සලකා පැවිද්දන් විසින් ආහාර වැළඳිය යුතු ය. එසේ වළඳන කල්හි ද
“චත්තාරො පඤ්ච ආලොපෙ - අභූත්වා උදකං පිවෙ,
ආලං ඵාසුවිහාරාය - පහිතත්තස්ස භික්ඛුනො.”
යනුවෙන් දැක්වෙන පරිදි නිවන් ලබනු රිසි පැවිද්දා විසින් සම්පූර්ණයෙන් කුස පිරී තද නොවන පරිදි බඩට අල්ලන ප්‍රමාණයෙන් බත් පිඬු සතරක් පහක් අඩු කොට වළඳා පැන් පානය කළ යුතුය. එසේ වැළඳීමෙන් ඉරියව් පැවැත්වීමේ පහසුවත් නිරෝග භාවයත් ඇති වන්නේ ය.
කියන ලද කරුණු සිහි කරන, සිහි කරමින් ආහාර වළඳන පැවිද්දා හට ඒ නිසා ආහාර තෘෂ්ණාව තුනී වේ. බොහෝ දුරට දුරු වේ. ආහාර තෘෂ්ණාව දුරු කර ගැනීමේ මිනුම් දැක්වීම සඳහා තථාගතයන් වහන්සේ විසින් පුත්‍රමාංසෝපමාවක් වදාරා තිබේ.
ඒ මෙසේ ය:
අඹු සැමි දෙදෙනෙක් මාර්ගෝපකරණ වශයෙන් සුළු දෙයක් ඇති ව අත දරුවකු ද සමග සියක් යොදුන් කාන්තාරයෙක ගමන් කළෝය. කාන්තාරය මැද දී ඔවුන් ගෙන ගිය ආහාරපාන අවසන් විය. දැන් ඔවුනට ඉදිරියට යෑමටවත් ආපසු යෑමටවත් ක්‍රමයක් නැත. ඔවුන් දෙදෙන සාගින්නෙන් පිපාසයෙන් මහත් පීඩාවට පත් ව මඳ සෙවනක් ඇති ගසක් යට හිඳ ගත්තෝ ය. ඉක්බිති පුරුෂයා භාර්‍ය්‍යාව අමතා කියනුයේ සොඳුර පනස් යොදුනකින් මොබ කවර දිසාවකවත් ගමක් ගෙයක් නැත. දැනට මෙහි පුරුෂයකුට කළ හැකි කිසිවක් නැත. දැන් සිදුවී ඇත්තේ අප තිදෙනාට ම මරුමුවට පත්වීමට ය. අප තිදෙනා ම මැරෙනවාට වඩා තෙපි දෙදෙනා වත් ජීවත් වුව හොත් යෙහෙක. ඒ නිසා මා මරා මස් කා කුසගිනි නිවා ගෙන ඉදිරියටත් ඒ මසින් කොටස් මග වියදමට ගෙන තෙපි දෙදෙනා මේ විපතින් ගැලවී යව් ය” යි කී ය. එ කල්හි භාර්‍ය්‍යාව “ආදරවන්ත හිමියනි! ජීවත් වීම සඳහා ස්ත්‍රියකට කළ හැකි කිසි ම කර්මාන්තයක් මෙහි නැත. මා මරා මාගේ මස්වලින් කුසගිනි නිවාගෙන දරුවාත් සමග ඔබ ගැලවී යන්නය” කීවා ය.
“සොඳුර! තොප මළ හොත් මේ දරුවා ජීවත් විය නො හේ, එ බැවින් තිගේ මරණය දෙදෙනකු ගේ මරණයෙකි, අප ජීවත් වුව හොත් අනාගතයේ දී අපට දරුවන් ලැබිය හැකිය. මේ දරුවා මරා ඔහු ගේ මස් ආහාර කර නිමින් අප දෙදෙනා කාන්තාරයෙන් එතර වන්නෙමු ය” යි පුරුෂයා කී ය. එ කල්හි මව “දරුවා පියා සමීපයට යැව්වා ය. බොහෝ දුක් ගෙන පෝෂණය කළ මේ දරුවා මට නම් මරන්න බැරිය කියා, පියා මව ළඟට ම දරුවා යැවීය. ඔවුනොවුන් වෙත යවනු ලබමින් සිටි දරුවා ඉබේ ම මළේ ය. මා පිය දෙදෙනා දරුවාගේ මරණය ගැන හඬා වැලපී තමන්ට ජීවත් වීමේ අන් ක්‍රමයක් නැති කමින් ඔවුන් දෙදෙනා ඒ දරුවාගේ මස අනුභව කෙරෙමින් දිවි ගලවාගෙන කාන්තාරයෙන් එතර වූහ. මේ පුත්‍ර මාංසෝපමාව ය.
ඒ මාපිය දෙදෙන දරුවාගේ මස අනුභව කරන නමුත් ඔවුනට එය තමන්ගේ ජාතියේ කෙනකු ගේ මස නිසා ද අප්‍රිය ය. නෑයකුගේ මස නිසා ද අප්‍රිය ය. පුතාගේ මස නිසා ද අප්‍රිය ය. ප්‍රිය පුත්‍රයා ගේ මස නිසා ද අප්‍රිය ය. ළදරු මස නිසා ද අප්‍රිය ය. අමු මස නිසා ද අප්‍රිය ය. නොකන මසක් නිසා ද අප්‍රිය ය. ලුණු නැති නිසා ද අප්‍රිය ය. දුරු මිරිස් ආදිය නැති නිසා ද අප්‍රිය ය. මෙසේ නවාකාරයෙකින් පිළිකුල් වූ මාංසය ඔවුන් අනුභව කරන්නේ ඒ ගැන මඳකුදු සතුටෙකින් ආශාවෙකින් නො වේ. ඔවුන් හොඳ හොඳ මස් තෝරා කන්නේ ද නො වේ. කුස පිරෙන තෙක් අනුභව කරන්නේ ද නො වේ. ඔවුන් අනුභව කරන්නේ තිත්ත බෙහෙතක් වළඳන්නාක් මෙන් ඉතා ස්වල්පයක් ය. අනෙකාට කලින් හොඳ හොඳ හරිය මා තෝරා ගන්න ඕනෑය යන අදහසක් ඔවුනට ඇති වන්නේ නැත. කාන්තාරය ඉක්ම වූ පසු ඒ මාංසය ගෙන ගොස් තබා ගෙන හොඳින් පිස අනුභව කරන්නට ඕනෑ ය යන අදහසක් ඔවුනට ඇති වන්නේ නැත. අපට මිස මෙ බඳු රස අහරක් අනෙකකුට ලැබී නැත ය යි ආඩම්බරයක් ඔවුනට ඇති වන්නේ නැත. මේවා මට ය, මේවා නුඹට ය යි බෙදීමක් ඔවුන් අතර ඇති වන්නේ ද නැත. එය සමගියෙන් ම ඔවුහු අනුභව කරන්නාහ. මේ කැත ආහාරය කාට කෑ හැකි ද කියා ආහාරය ගැන ද්වේෂයක් ද ඔවුනට ඇති නො වන්නේ ය.
මේ උපමාවෙන් තථාගතයන් වහන්සේ උගන්වන්නේ ඒ අඹු සැමි දෙදෙන යම් බඳු සිතෙකින් තෘෂ්ණා මානාදියෙන් තොර ව කාන්තාරයෙන් එතර වීම ම පරමාර්ථ කොට ගෙන ඒ ආහාරය අනුභව කළාහු ද, එබඳු සිතෙකින් ම සැදැහැවතුන්ගෙන් හෝ අන් ක්‍රමයෙකින් හෝ ලැබෙන ආහාරය “මෙය ඉතා රස ය කියා සප්‍රීතික තෘෂ්ණාවක් ඇති නො කර ගෙන මෙයින් කොටසක් හෙටටත් තබාගන්න ඕනෑ ය කියා රැස් කර තැබීමේ තෘෂ්ණාවක් ඇති නො කර ගෙන අනාගතයටත් මා හට මෙ බඳු ආහාරයක් ලැබේවා යි තෘෂ්ණා ප්‍රාර්ථනයක් ඇති නො කර ගෙන, අන්‍යයෝ මෙ බඳු අහරක් නො ලබති යි කියා මානයක් ඇති නො කර ගෙන, ආහාර ගැන මසුරු කමක් ඊර්‍ෂ්‍යාවක් ඇති නො කර ගෙන, ආහාරය කටුකය කියා දොම්නසක් ඇති නොකර ගෙන, ආහාරයේ ප්‍රණීතාප්‍රණීත තාවය ගැන නොසිතා, මධ්‍යස්ථ චිත්තයෙන් දිවි පැවැත්වීම් ආදි ප්‍රයෝජනය පමණක් සලකා, පැවිද්දන් විසින් ආහාර වැළඳීම කළ යුතු බව ය. ඉහත කී ආහාර වැළඳීමට සුදුසු නුසුදුසු කරුණු හොඳින් තේරුම් ගෙන ඒවා සිහි කරමින් ආහාර වැළඳීම කරන්නට පුරුදු කර ගැනීමෙන් පුත්‍රමාංසෝපමාවෙන් උගන්වා ඇති පරිදි තෘෂ්ණා මානාදි ක්ලේශයන් නූපදනා පරිදි ආහාර වැළඳීම කළ හැකි වනු ඇත. ආහාර වැළඳීමේ දී මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරන්න.
මා මේ ආහාරය වළඳන්නේ විනෝදය පිණිස නොවේ. පුරුෂමදාදිය වඩනු පිණිසත් නො වේ. ඇඟ තර කර ගැනීම පිණිසත් නො වේ. ඇඟ පැහැපත් කර ගනු පිණිසත් නො වේ. මා මේ ආහාරය වළඳන්නේ ශරීරයත් ජීවිතයත් පවත්වා ගනු සඳහා ය. සාගිනි පීඩාව දුරු කර ගනු පිණිසය. බුදුසස්නෙහි පිළිවෙත් පිරිය හැකි වනු සඳහා ය. ජීවිතය කලක් පවත්වා ගනු සඳහා ය. මෙ සේ ආහාර වැළඳීමෙන් මාගේ සාගිනි වේදනාව දුරුවන්නේ ය. පමණ ඉක්මවා ආහාර ගැනීමෙන් වන වේදනාව ද නූපදින්නේ ය. ජීවිතය චිරකාලයක් පවත්වා ගත හැකි වන්නේ ය. මෙසේ ආහාර වැළඳීම අයුතු ලෙස ආහාර සපයා වැළඳීමක් නොවන බැවින් වැරදි ආහාර වැළඳීමක් නො වේ. මෙසේ පමණට ආහාර වැළඳීමෙන් සුවසේ විසිය හැකි වන්නේ ය.
ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුත්තේ මෙසේ ය. සිරුර තුළට පිවිසියා වූ මේ ආහාරය ශරීරයේ ලේ මස් ආදිය වඩන්නේ ය. එහෙත් එසේ කරන බව ආහාරය නොදන්නේ ය. ශරීරය ද තමා ආහාරය නිසා වැඩෙන බව - පවත්නා බව නොදන්නේ ය. එ සේ දැනීමක් නැති බැවින් ආහාරය ශරීරය යන දෙක ම අන්‍යොන්‍ය අපේක්ෂාවක් නැති ධාතු සමූහ දෙකකි. මෙසේ ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් විශේෂයෙන් “මම වළඳමි ය” යි පවත්නා ආත්ම සම්මෝහය හා සත්කාය දෘෂ්ටිය දුරු වේ.
ප්‍රතිකූල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුත්තේ මෙසේ ය: දර්ශනීය වූ ද පවිත්‍ර වූ ද මේ ආහාරය ආමාසයට පැමිණි කල්හි කෙළ - සෙම හා මිශ්‍ර වී බලු වමනයක ස්වභාවයට පැමිණෙන්නේ ය. තව දුරටත් පැසුණු කල්හි අසූචිභාවයට පැමිණ පරම ප්‍රතිකූල ස්වභාවයට පැමිණෙන්නේ ය. මෙසේ ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් විශේෂයෙන් ආහාර තෘෂ්ණාව හා මානය දුරු වේ. මේ ආහාර ප්‍රත්‍යවේක්ෂාව බුදු සස්නෙහි ඉතා උසස් තැනක් ගන්නා භාවනා විශේෂයකි. මෙය දියුණු කොට කබලිංකාරාහාරය පිරිසිඳ දැන මේ ලෝකයට උත්පත්ති වශයෙන් නැවත පැමිණීමට හේතු වන සංයෝජනයන් දුරු කොට අනාගාමි ඵලයට පැමිණිය හැකි වන බව
කබලිංකාරෙ භික්ඛවෙ! ආහාරෙ පරිඤ්ඤාතෙ පඤ්චකාම-ගුණිකො රාගො පරිඤ්ඤාතො හොති, පඤ්ච කාමගුණිකෙ රාගෙ පරිඤ්ඤාතෙ නත්ථි තං සංයොජනං, යෙන සංයොජනනෙ සංයුත්තො අරිය සාවකො පුන ඉමං ලොකං ආගච්ඡෙය්‍ය.”
යනුවෙන් පුත්‍රමාංසෝපම සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය. බොහෝ කෙලෙස් ඇති වීමට හේතු වන දෙයත් ආහාර ය. එබැවින් පැවිද්දන් විසින් ආහාර ප්‍රත්‍යවේක්ෂාව ගැන විශේෂ සැලකිල්ලක් කළ යුතු ය.
ආවාස ඇඳ පුටු ඇතිරිලි කොට්ට මෙට්ට ආදිය සේනාසන නම් වේ. සැදැහැවතුන් විසින් ශාසනයට පුදා ඇති ඒ සේනාසන ද පරිභෝග කළ යුත්තේ සුදුසු කරුණු සඳහා ය. නුසුදුසු කරුණුවලට ඒවා පාවිච්චි කිරීම වරදෙකි. විනෝදය පිණිස ඒ සෙනසුන් පරිභෝග කිරීම නුසුදුසු ය. එකතු වී රාජකථාදි තිරශ්චීන කථා කිරීම සඳහා පාවිච්චි කිරීම නුසුදුසු ය. නො පෙනී පව්කම් කිරීම සඳහා පාවිච්චි කිරීම නුසුදුසු ය. ශීත වළක්වා ගැනීමට, උෂ්ණය වළක්වා ගැනීමට, මැස්සන් ගෙන් මදුරුවන් ගෙන් අව්වෙන් සුළඟින් සර්පයන් ගෙන් විය හැකි පීඩාවලින් වැළකීමට සෙනසුන් පරිභෝගය සුදුසු ය. ශරීරාබාධයන්ට හේතු වන නපුරු සෘතු ගුණයෙන් වැළකීම පිණිස සෙනසුන් පරිභෝගය සුදුසු ය. එළිමහනෙහි වෙසෙන කල්හි රාගාදියට හේතු වන අරමුණු දක්නට ලැබීමෙන් සිත වික්ෂිප්ත වේ. එබඳු අරමුණුවලින් වෙන් ව විවේකීව සිත එක් අරමුණෙක තබා වාසය කරනු පිණිස සෙනසුන් පරිභෝගය සුදුසු ය. සෙනසුන් පරිභෝගයට සුදුසු නුසුදුසු වන මේ කරුණු හොඳින් තේරුම් ගෙන සෙනසුන් පරිභෝගයේ දී මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරන්න.
මා මේ සෙනසුන පරිභෝග කරන්නේ ශීත දුරු කර ගැනීම පිණිස ය. උෂ්ණය දුරු කර ගැනීම පිණිස ය. මැස්සන් ගෙන් මදුරුවන් ගෙන් අව්වෙන් සුළඟින් සර්පයන් ගෙන් වන පීඩා නැති කර ගැනීම පිණිස ය. නපුරු සෘතුව නිසා වන පීඩා නොවනු පිණිස ය. නොයෙක් අරමුණුවලට යා නො දී සිත එක් අරමුණෙක තබා වාසය කරනු පිණිස ය.
ධාතු වශයෙන් සේනාසන ප්‍රත්‍යවේක්ෂාව මෙසේ කළ යුතු ය. ගෙයක් තුළ තිබෙන මැටි රූපය, තමා ගෙයි තිබෙන බව නො දන්නාක් මෙන් විඤ්ඤාණය නිසා ක්‍රියා කරන මේ ශරීරය සෙනසුනට ඇතුළු කළේ ද, සෙනසුනෙක ශයනය කරවූයේ ද, හිඳවූයේ ද, තමා සෙනසුනෙහි ඉන්නා බව, නිදන බව, හිඳින බව නොදන්නේ ය. එ මෙන් සෙනසුන ද තමා කෙරෙහි ශරීරය තිබෙන බව නොදන්නේ ය. ඔවුනොවුන් ගැන දැනීමක් නැති ව පවත්නා වූ ශරීරය හා සෙනසුන සත්ත්ව පුද්ගල භාවයක් නැති ධාතු සමූහ දෙකෙකි.
ප්‍රතිකූල වශයෙන් සේනාසන ප්‍රත්‍යවේක්ෂාව මෙසේ කළ යුතු ය. නිතර ලේ සැරව දියර වැගිරෙන කුෂ්ඨ රෝගියකු විසූ තැන අපවිත්‍ර වී පිළිකුල් බවට පැමිණෙන්නාක් මෙන් සෙම් සොටු ඩහදිය ආදි අපවිත්‍ර දෑ උතුරන වැගිරෙන මේ ශරීරයෙන් පරිභෝග කිරීමෙන් පවිත්‍ර වූ මේ සෙනසුන අපවිත්‍ර වී පිළිකුල් බවට යන්නේ ය.
කාලයෙහි මිස විකාලයෙහි පැවිද්දන් විසින් ආහාර පාන නො වැළඳිය යුතු ය. පිපාසාව හා වෙනත් ශාරීරික රෝග ඇති වූ අවස්ථාවල දී ඒවා දුරු කර ගැනීම සඳහා විකාලයේ දී ද අෂ්ටපානාදිපානවර්ග හා තෙල් ගිතෙල් මී පැණි සකුරු ආදි බෙහෙත් වර්ග වැළඳීමට තථාගතයන් වහන්සේ අනුදැන වදාරා ඇත්තේ ය. මෙහි ගිලන්පස යයි කියනුයේ රෝග සුවකර ගැනුමට විකාලයෙහි ද පරිභෝගයට කැප වූ අෂ්ටපානාදියට ය. විනෝදය පිණිස රස විඳීම පිණිස ගිලන්පස පරිභෝගය පැවිද්දන්ට නුසුදුසු ය. උපන් ශාරීරිකාබාධයන් දුරුකර ගැනුමටත් මතු ඇතිවිය හැකි රෝග වළකා ගැනීමටත් ගිලන්පස පරිභෝගය සුදුසු ය. ගිලන්පස පිළිගැනීමේදීත් පරිභෝග කිරීමේදීත් මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරන්න.
මා මේ ගිලන්පස වළඳන්නේ මාගේ ශරීරයේ ඇති රෝගයන් හා වේදනාවන් දුරුකර ගැනීම පිණිස ය.
ගිලන්පස ධාතු වශයෙන් මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. ශරීරයට ඇතුළු කරන්නා වූ මේ ගිලන්පස නොයෙක් ශාරීරික දුක් වේදනා නසන නමුත් එසේ කරන බව ගිලන්පස නොදන්නේ ය. තමා කෙරෙහි පවත්නා රෝග වේදනාවන් ගිලන්පසින් දුරු කරන බව මේ ශරීරය ද නොදන්නේ ය. එබැවින් ගිලන්පසත් ශරීරයත් යන දෙක ම ඔවුනොවුන් කෙරෙහි අපේක්ෂාවක් නැති ධාතු සමූහ දෙකෙකි. සත්ත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් ඒවායේ නැත.
ප්‍රතිකූල වශයෙන් ගිලන්පස ගැන මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරන්න. පැසවූ වණයකට දැමූ බෙහෙත ලේ සැරව තැවරී එකෙණෙහි ම පිළිකුල් බවට පත් වන්නාක් මෙන් මේ ශරීරයට ඇතුළු කරන මේ බෙහෙත් ද කෙළ සෙම ආදිය හා මිශ්‍රවීමෙන් වහා පිළිකුල් බවට පැමිණෙන්නේ ය.
චීවර ප්‍රත්‍යවේක්ෂාව
පටිසංඛායොනිසො චීවරං පටිසෙවාමි, යාවදෙව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතප සිරිංසප-සම්ඵස්සානං පටිඝාතාය යාවදෙව හිරි කොපීන පටිච්ඡාදනත්ථං.
පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව.
පටිසංඛායොනිසො පිණ්ඩපාතං පටිසෙවාමි, නෙව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය, විහිංසූපරතියා බ්‍රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහංඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රාව මෙ භවිස්සති, අනවජ්ජතා ච ඵාසුවිහාරො ච.
සේනාසන ප්‍රත්‍යවේක්ෂාව.
පටිසංඛායොනිසො සෙනාසනං පටිසෙවාමි. යාව දෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකස වාතාතප සිරිංසප සම්ඵස්සානං පටිඝාතාය යාවදෙව උතුපරිස්සය විනොදනං පටිසල්ලානාරාමත්ථං.
ග්ලාන ප්‍රත්‍ය ප්‍රත්‍යවේක්ෂාව.
පටිසංඛා යොනිසො ගිලානප්පච්චය භෙසජ්ජ පරික්ඛාරං පටිසෙවාමි, යාවදෙව උප්පන්නානං වෙය්‍යාබාධිකානං වෙදනානං පටිඝාතාය අඛ්‍යාපජ්ජපරමතාය.
අතීත ප්‍රත්‍යවේක්ෂාව
චීවර ප්‍රත්‍යවේක්ෂාව.
මයාපච්චෙක්ඛිත්වා අජ්ජ යං චීවරං පරිභුත්තං, තං යාවදෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකසවාතාතපසිරිංසප සම්ඵස්සානං පටිඝාතාය, යාවදෙව හිරිකොපීන පටිච්ඡාදනත්ථං.
ධාතු වශයෙන් හා ප්‍රතිකූල වශයෙන්
යථාපච්චයං පවත්තමානං ධාතුමත්ත මෙවෙතං යදිදං චීවරං, තදුපභුඤ්ජකො ච පුග්ගලො ධාතුමත්තකො, නිස්සත්තො, නිජ්ජීවො, සුඤ්ඤො, සබ්බානි පන ඉමානි චීවරානි අජිගුච්ඡනීයානි ඉමං පූතිකායං පත්වා අතිවිය ජිගුච්ඡනීයානි ජායන්ති.
පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව
මයා පච්චවෙක්ඛිත්වා අජ්ජ යො පිණ්ඩපාතො පරිභුත්තො, සො නෙව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහංඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො ච.
ධාතු වශයෙන් හා ප්‍රතිකූල වශයෙන්
යථාපච්චයං පවත්තමානං ධාතුමත්තමෙවෙතං යදිදං පිණ්ඩ-පාතො, තදුපභුඤ්ජකො ච පුග්ගලො ධාතු මත්තකො නිස්සත්තො, නිජ්ජීවො, සුඤ්ඤො, සබ්බො පනායං පිණ්ඩපාතො අජිගුච්ඡනීයො. ඉමං පූතිකායං පත්වා අතිවිය ජිගුච්ඡනීයො ජායති.
සේනාසන ප්‍රත්‍යවේක්ෂාව.
මයාපච්චවෙක්ඛිත්වා අජ්ජ යං සෙනාසනං පරිභුත්තං, තං යාවදෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං, පටිඝාතාය, යාවදෙව උතුපරිස්සය විනොදනං, පටිසල්ලානාරාමත්ථං.
ධාතු වශයෙන් හා ප්‍රතිකූල වශයෙන්
යථාපච්චයං පවත්තානං ධාතුමත්ත මෙවෙතං යදිදං සෙනාසනං, තදුපභුඤ්ජකො ච පුග්ගලො ධාතු මත්තකො, නිස්සත්තො, නිජ්ජීවො, සුඤ්ඤො, සබ්බානි පන ඉමානි සෙනාසනානි අජිගුච්ඡනීයානි. ඉමං පූතිකායං පත්වා අතිවිය ජිගුච්ඡනීයානි ජායන්ති.
ග්ලාන ප්‍රත්‍යය ප්‍රත්‍යවේක්ෂාව
මයාපච්චවෙක්ඛිත්වා අජ්ජ යො ගිලානපච්චය භෙසජ්ජ-පරික්ඛාරො පරිභුත්තො සො යාවදෙව උප්පන්නානං වෙය්‍යාබාධිකානං වෙදනානං පටිඝාතාය අබ්‍යාපජ්ජපරමතාය.
ධාතු වශයෙන් හා ප්‍රතිකූල වශයෙන්
යථාපච්චයං පවත්තමානං ධාතුමත්තමෙවෙතං යදිදං ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරෝ. තදුපභුඤ්ජකො ච පුග්ගලො ධාතුමත්තකො, නිස්සත්තො, නිජ්ජීවො, සුඤ්ඤො, සබ්බො පනායං ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරො අජිගච්ඡනීයො. ඉමං පූතිකායං පත්වා අතිවිය ජිගුච්ඡනීයො ජායති.
ප්‍රත්‍යවේක්ෂා කරමි යි මේ පාළි පාඨ සිහි කළත් ප්‍රත්‍ය පරිභෝග කිරීම් හේතු හා ප්‍රත්‍යවල තත්ත්වය පාළි භාෂාව පිළිබඳ හොඳ පුරුද්දක් නැති අය ගේ සිත් වලට නොහසු වන්නේ ය. එ බැවින් එසේ ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ප්‍රයෝජනයක් නො වේ. නොදන්නා බසෙකින් කරන ඒ ප්‍රත්‍යවේක්ෂාවෙන් චීවරාදි ප්‍රත්‍යයන් නිසා ඇති වන තෘෂ්ණා මානාදි ක්ලේශයෝ දුරු නොවෙති. එ බැවින් මතු දැක්වෙන වාක්‍යයන් පාඩම් කර ගෙන සිංහලයෙන් ම ප්‍රත්‍යවේක්ෂා කිරීමට පුරුදු කර ගැනීම යහපත් ය.
මා මේ සිවුරු පරිභෝග කරන්නේ ශීතල නැති කර ගැනීමටය, උෂ්ණය නැති කර ගැනීමට ය. මැසි මදුරුවන්ගෙන් සුළඟින් අව්වෙන් පත්තෑ ගෝණුසු ආදී සර්පයන්ගෙන් විය හැකි පීඩා වළකා ගැනීම පිණිස ය. නොවැසුවහොත් ලජ්ජාව නැතිවන ශරීරාවයවයන් වසාගනු පිණිසය.
පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව.
මා මේ ආහාරය වළඳන්නේ විනෝදය පිණිස නො වේ. පුරුෂමදාදිය වඩනු පිණිස ද නො වේ. ඇඟ තර කර ගැනීම පිණිස ද නො වේ. ඇඟ පැහැපත් කර ගැනීම පිණිස ද නො වේ. මා මේ ආහාරය වළඳන්නේ ශරීරයත් ජීවිතයත් පවත්වා ගනු පිණිස ය. සාගිනි වේදනාව දුරු කර ගනු පිණිස ය. බුදුසස්නෙහි පිළිවෙත් පිරිය හැකි වනු සඳහා ය. ජීවිතය චිරකාලයක් පවත්වා ගනු සඳහා ය. මෙසේ ආහාර වැළඳීමෙන් මාගේ සාගිනි වේදනාව දුරු වන්නේ ය. පමණ ඉක්මවා ආහාර වැළඳීමෙන් වන වේදනා ද නො වන්නේය. ජීවිතය චිරකාලයක් පැවැත්විය හැකි ද වන්නේ ය. මෙසේ ආහාර වැළඳීම අයුතු ලෙස ආහාර සපයා වැළඳීමක් නොවන හෙයින් නිවැරදි ආහාර වැළඳීමක් ද වන්නේ ය. මෙසේ පමණට ආහාර වැළඳීමෙන් සුවසේ විසිය හැකි ද වන්නේ ය.
සේනාසන ප්‍රත්‍යවේක්ෂාව
මා මේ සෙනසුන පරිභෝග කරන්නේ ශීතල දුරු කර ගැනීම පිණිස ය. උෂ්ණය දුරු කර ගැනීම පිණිස ය. මැස්සන් ගෙන් මදුරුවන් ගෙන් අව්වෙන් සුළඟින් සර්පයන් ගෙන් වන පීඩා දුරු කර ගැනීම පිණිස ය. නපුරු සෘතුව නිසා වන පීඩා නැති කර ගැනීම පිණිස ය. නොයෙක් අරමුණු කරා යා නොදී සිත එක් අරමුණෙක තබා වාසය කරනු පිණිස ය.
ග්ලාන ප්‍රත්‍යය ප්‍රත්‍යවේක්ෂාව
මා මේ ගිලන් පස වළඳන්නේ මා ගේ ශරීරයෙහි ඇති රෝගයන් හා වේදනාවන් දුරු කර ගැනීම පිණිස ම ය.
(මේවා කලින් කියා ඇත ද පාඩම් කර ගැනීමට පහසු වනු සඳහා නැවත දක්වන ලදි.)
අතීත ප්‍රත්‍යවේක්ෂාව
චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යය යන මේවා පරිභෝග කරන සෑම වාරයේ දී ම ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ය. එසේ කිරීම දුෂ්කර ය. නොයෙක් විට ප්‍රත්‍යවේක්ෂාවෙන් තොර ව සිවුපස පරිභෝගය පැවිද්දා අතින් කෙරෙන්නේ අමතක වීම් ආදියෙනි. ප්‍රත්‍යවේක්ෂා නො කොට පරිභෝග කළ ප්‍රත්‍යයන් ගැන පසු දින අරුණු නැඟෙන්නට පෙර කවර අවස්ථාවෙක දී හෝ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. ප්‍රත්‍යවේක්ෂා නො කොට දිනය ඉක්මී ගියහොත් ඉණ පරිභෝග භාවයට පැමිණේ. අද පරිභෝග කළ ප්‍රත්‍යයන් ගැන හෙට ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. අතීත ප්‍රත්‍යවේක්ෂාව ඒ ඒ දිනවල දී පරිභෝග කළ ප්‍රත්‍යයන් ගැන කළ යුත්තකි. සවස තුනුරුවන් වැඳ අවසානයේ එදින අළුයම පටන් එතෙක් පරිභෝග කළ ප්‍රත්‍යයන් ගැන ප්‍රත්‍යවේක්ෂා කරනු. ඉන් පසු පරිභෝග කළ ප්‍රත්‍යයන් ගැන අරුණට පළමු නැඟිට ප්‍රත්‍යවේක්ෂා කරනු. අරුණට පළමු නැඟිට මුළු දවසේ ම පරිභෝග කළ ප්‍රත්‍යයන් ගැන ප්‍රත්‍යවේක්ෂා කිරීමත් යෝග්‍ය ය. රාත්‍රියේ සැතපෙන්නට පටන් ගන්නා අවස්ථාවේ දී ද ප්‍රත්‍යවේක්ෂා කිරීම යහපති. අරුණට පළමු නො නැඟිටිය හැකි අය විසින් ඒ වෙලාවේ දී වත් ප්‍රත්‍යවේක්ෂා කිරීමට පුරුදු කර ගත යුතු ය.
චීවර අතීත ප්‍රත්‍යවේක්ෂාව
අද මා සිවුරු පරිභෝග කළේ ශීතල නැති කැර ගැනීම පිණිස ය. උෂ්ණය නැති කැර ගැනීම පිණිස ය. මැසි මදුරුවන් ගෙන් සුළඟින් අව්වෙන් පත්තෑ ගෝණුසු ආදි සර්පයන් ගෙන් විය හැකි පීඩා වළකා ගනු පිණිස ය. නො වැසුව හොත් ලජ්ජාව නැති වන ශරීරාවයවයන් වසාගනු පිණිස ය.
පිණ්ඩපාත අතීත ප්‍රත්‍යවේක්ෂාව
අද මා ආහාර වැළඳූයේ විනෝදය පිණිස නො වේ. පුරුෂමදාදිය වඩනු පිණිස ද නො වේ. ඇඟ තර කර ගැනීම පිණිස ද නො වේ. ඇඟ පැහැපත් කර ගනු පිණිස ද නො වේ. මා ආහාර වැළඳූයේ ශරීරයත් ජීවිතයත් පවත්වා ගනු පිණිස ය. සාගිනි වේදනාව දුරු කර ගනු පිණිස ය. බුදුසස්නෙහි පිළිවෙත් පිරිය හැකි වනු පිණිස ය. ජීවිතය චිරකාලයක් පවත්වා ගනු පිණිස ය. එසේ ආහාර වැළඳීමෙන් මා ගේ සා ගිනි වේදනාව දුරු වන්නේ ය. පමණ ඉක්මවා ආහාර වැළඳීමෙන් වන වේදනා ද නො වන්නේ ය. ජීවිතය ද චිරකාලයක් පැවැත්විය හැකි වන්නේ ය. එ සේ ආහාර වැළඳීම අයුතු සේ ආහාර සපයා වැළඳීමක් නො වන බැවින් නිවැරදි, වැළඳීමක් ද වන්නේ ය. එ සේ පමණට ආහාර වැළඳීමෙන් සුවසේ විසිය හැකි ද වන්නේ ය.
සේනාසන අතීත ප්‍රත්‍යවේක්ෂාව
අද මා සෙනසුන් පරිභෝග කළේ ශීතල දුරු කර ගැනීම පිණිස ය. උෂ්ණය දුරු කර ගැනීම පිණිස ය. මැස්සන් ගෙන් මදුරුවන් ගෙන් අව්වෙන් සුළඟින් සර්පයන් ගෙන් වන පීඩා දුරු කර ගැනීම පිණිස ය. නපුරු සෘතුව නිසා වන පීඩා නැති කර ගැනීම පිණිස ය. නොයෙක් අරමුණු කරා යා නො දී සිත එක් අරමුණෙක තබා වාසය කරනු පිණිස ය.
ග්ලාන ප්‍රත්‍යය අතීත ප්‍රත්‍යවේක්ෂාව
අද මා ගිලන් පස වැළඳූයේ මා ගේ ශරීරයෙහි ඇති රෝග හා වේදනාවන් දුරු කර ගැනීම පිණිසම ය.
පැවිද්දකුට ඉණපරිභෝගයෙන් මිදීමට මේ ප්‍රත්‍යවේක්ෂාව ප්‍රමාණවත් ය. ධාතු වශයෙන් හා ප්‍රතිකූල වශයෙනුත් ප්‍රත්‍යවේක්ෂාව කරත හොත් ඉතා ම හොඳ ය. එසේ ද කරනු කැමතියන් විසින් මෙහි ඒ ඒ තැන් වල ඉහත දක්වන ලද ප්‍රත්‍යවේක්ෂා පාඨ ද පාඩම් කර ගෙන ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ය. ධාතු වශයෙන් හා ප්‍රතිකූල වශයෙන් කරන ප්‍රත්‍යවේක්‍ෂාවෙන් බොහෝ කෙළෙස් දුරු වේ. විදර්ශනා වඩන යෝගාවචරයනට එය ඉතා ප්‍රයෝජනවත්ය. බොහෝ පැවිද්දන්ට ශ්‍රමණ අදහස් නැති වී ගිහි අදහස් ඇතිවන්නේ, තෘෂ්ණා මානාදි කෙළෙස් අධික වන්නේ, බොහෝ ප්‍රත්‍යය සොයන්නට රැස් කරන්නට සිත් වන්නේ, මිල මුදල් සපයන්නට සිත් වන්නේ, පැවිද්දන්ට නුසුදුසු ක්‍රම වලින් ප්‍රත්‍ය සපයන්නට සිත් වන්නේ ප්‍රත්‍යවේක්‍ෂාවෙන් තොරව සිවුපසය පරිභෝග කිරීමෙනි. ශ්‍රමණ ගුණ, ශ්‍රමණ අදහස් ඇති වීමට, තහවුරු වීමට බලවත් හේතුවක් වන දෙය මේ ප්‍රත්‍යවේක්‍ෂාව ය.
දශශීලය, දශපරිජි හෙවත් දශනාශනාංගයෝ ය, දශදඬුවම්වත්ය, සේඛියා වත් පන්සැත්තෑවය, නියමිත වත්ය යන මේවා සාමණේර ශීලයට අයත් ය. “සුක්ක විස්සට්ඨි ආදි ලෝකවජ්ජ සික්ඛාපදේසු ච සාමණේරේහි වත්තිතබ්බං” යනුවෙන් දැක්වෙන පරිදි සුක්කවිස්සට්ඨි සංඝාදිසේසාදි භික්ෂූන්ට පනවා ඇති ලෝකවද්‍ය ශික්ෂා පද ද සාමණේරයන් විසින් ද රැකිය යුතු ය. සාමණේරයනට ඇවැත් නැති බැවින් ඒවා ඉක්මවන සාමණේරයෝ දඬුවම් ලැබීමට සුදුස්සෝ වන්නාහ.
“අනුජානාමි භික්ඛවෙ, සාමණේරානං දසසික්ඛා පදානි, තේසු ච සාමණේරේහි සික්ඛිතුං.
පාණාතිපාතා වේරමණී
අදින්නාදානා වේරමණී
අබ්‍රහ්මචරියා වේරමණී
මුසාවාදා වේරමණී
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී
විකාලභෝජනා වේරමණී
නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී
මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී
උච්චාසයන මහාසයනා වේරමණී
ජාත රූප රජත පටිග්ගහණා වේරමණී
අනුජානාමි භික්ඛවෙ, සාමණේරානං ඉමානි දස සික්ඛාපදනි, ඉමෙසු ච සාමණේරෙහි වත්තිතුං”
යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් සාමණේරයනට අනුදැන වදාරන ලද සිකපද දශය සාමණේර දශ ශීලය ය. දස සිකපදයන් ගේ විස්තර මතු දැක්වෙන පරිදි දත යුතු ය.
1. පාණාතිපාතා වේරමණී:
තමන් විසින් ම උපක්‍රම කිරීමෙන් හෝ අනුන් ලවා උපක්‍රම කරවීමෙන් හෝ සතුන් මැරීමෙන් වැළකීම “පාණාතිපාතා වේරමණී” නම් වේ.
සත්ත්වයකු වීම ය, සත්ත්වයකු යන හැඟීම ඇති බව ය. මරණ චේතනාවක් ඇති වීම ය, මරන්නට උපක්‍රමයක් කිරීම ය, ඒ උපක්‍රමයෙන් සත්ත්වයා මරණයට පත්වීම ය යන පඤ්චාංගය සම්පූර්ණ වන ප්‍රාණඝාතයෙන් මේ සිකපදය බිඳේ.
සතකු නො වන වස්තුවකට සතෙකැයි සිතා “මූ මරමිය”යි පහර දුන්නේ ද එහි සතකු නො වූ බැවින් ශීලභේදය නො වේ.
යම් කිසි ද්‍රව්‍යකැයි සිතා පාගා දැමීමෙකින් හෝ යට කිරීමෙකින් හෝ සතෙක් මළේ ද සතෙක් ය යන හැඟීම හා මරන අදහස ද නැති බැවින් සිකපදය නොබිඳේ.
පොළොව කෙටීම් ආදි අනෙකක් ගැන කරන දෙයකින් සතෙක් මළේ ද වධක චිත්තයක් නො මැති බැවින් සිකපදය නො බිඳේ.
බිය ගන්වා පලවා හැරීමේ අදහසින් ගැසූ පහරෙකින් සතෙක් මිය ගියේ ද වධක චිත්තයක් නැති බැවින් සිකපදය නො බිඳේ.
මරන්නට ම සිතා කළ උපක්‍රමයෙන් සතා නො මැරුණේ නම් සිකපදය නො බිඳේ. මරන්නට සිතා ගැසූ පහරින් අවුරුදු ගණනක් ගත වී වුව ද සත්ත්වයා මැරෙන්නේ නම් පහර ගැසුවහු ගේ සිකපදය එ කෙණෙහි ම බිඳේ.
දඬු මුගුරුවලින් ආයුධවලින් පහර දීම හැර ප්‍රාණඝාතය කිරීමේ තවත් බොහෝ උපක්‍රම ඇත්තේ ය. වළවල් සාරා තැබීම, උගුල් අටවා තැබීම, වස දීම, සූනියම් කිරීම, වස්කවි කීම, බිය ගැන්වීම, ඔවුනොවුන් කෝලාහල කරවීම, මෝඩයන් උසිගැන්වීම, දිවි නසා ගැනීමේ ගුණ වර්ණනා කිරීම, ගැබ් හෙළීමට බෙහෙත් සැපයීම, දිවි නසා ගැනීමට සිතන අයට අසුවන සැටියට වස සපයා තැබීම, ආයුධ සපයා තැබීම යනාදිය ද මැරීමේ උපක්‍රයෝ ය. කිනම් උපක්‍රමයෙකින් වුව ද සත්ත්වයකු මැරීමෙන් මේ සිකපදය බිඳෙන්නේ ය.
2. අදින්නාදානා වේරමණී:
හිමියන් විසින් කැමැත්තෙන් නුදුන් අන්සතු වස්තුව සොර සිතින් ගැනීමෙන් ගැන්වීමෙන් වැළකීම “අදින්නාදානා වේරමණී” නම් වේ.
අදින්නාදානය සම්පූර්ණ වීමට අංග පසෙක් ඇත්තේ ය. එනම් අන් සතු වස්තුවක් වීමය, අන් සතු වස්තුවක් ය යන හැඟීම ය, සොර සිත ය, ගැනීමේ උපක්‍රමය ය, ඒ උපක්‍රමයෙන් ගැනීම ය යන මේ පස අදින්නාදානයේ අංගයෝ ය.
හිමියා විසින් හැර දමන ලද වස්තුවක් සොර සිතින් ගත ද වස්තුවට හිමියකු නැති බැවින් සිකපදය නො බිඳේ.
අන් සතු වස්තුවක් තමාගේ යයි සිතා හෝ හිමියකු නැති වස්තුවෙකැයි සිතා හෝ ගැනීමෙන් සික පදය නො බිඳේ.
අන් සතු වස්තුවක් අන් සතු බව දැන ම ආපසු දීමේ අදහසින් හෝ මෙය ගැනීමට විරුද්ධ නො වන්නේ ය යන විශ්වාසයෙන් හෝ ගැනීමෙන් සික පදය නො බිඳේ.
යම් වස්තුවක් සොර සිතින් ගත හොත් එකෙණෙහිම සික පදය බිඳේ. ගත් වස්තුව ආපසු දීමෙන් නො රැකේ. සොරෙන් ගන්නා අදහසින් අන් සතු වස්තුව තුබූ තැනින් එසවුව හොත් සිකපදය බිඳේ. නැවත එහි තබා ගිය ද සිකපදය නො රැකේ.
අදත්තාදානය සිදු වන ක්‍රම බොහෝ ඇත්තේ ය. විනය පොත්වල අදත්තාදනය සිදු විය හැකි ක්‍රම පස් විස්සක් දක්වා තිබේ. අදත්තාදාන සික පදය ඉතා සියුම් සිකපදයෙකි. එය ගැන මනා දැනුමක් නැති කමින් “සොරකම් නො වෙති” යි සිතා සොරකම් කොට ශීලය බිඳ ගනිති. අන්සතු වස්තුව ගැන පැවිද්දන් විසින් විශේෂයෙන් පරෙස්සම් විය යුතුය. පස් විසිඅවහාරය දත යුතුය. එය අප විසින් සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත” නමැති ග්‍රන්ථයෙන් පහසුවෙන් දත හැකිය.
මේ සිකපදය බිඳෙන්නේ වස්තු හිමියාට නොදැනෙන පරිදි යමක් ගැනීමෙන් පමණක් නො වේ. කූට උපක්‍රමවලින් වස්තුහිමියා කැමති කරවා ඔහු අතින් ම ගැනීමෙන් ද සිකපදය බිඳේ. බිය ගන්වා ගැනීම, නො දෙන අදහසින් ණයට කියා ගැනීම, කිරීම් මැණීම් වලින් වැඩි කොට ගැනීම, අඩු කොට කිරා මැන දී මුදල් ගැනීම, පරණ බඩු අලුත් කොට අලුත් බඩු ලෙස දී මුදල් ගැනීම, පළුදු වූ නරක් වූ බඩු හොඳ බඩු ලෙස දී මුදල් ගැනීම, රන් රිදී මුතු මැණික් නොවන දේ රන් රිදී මුතු මැණික් ලෙස දී මුදල් ගැනීම, බොරු බෙහෙත් දී මුදල් ගැනීම, බොරු යන්ත්‍ර මන්ත්‍ර වලින් රවටා මුදල් ගැනීම, දැන දැන ම හොර නෝට්ටු හොර කාසි දී බඩු ගැනීම යන මේවායින් ද සික පදය බිඳෙන බව දත යුතු ය.
ඇතැම්හු තමන් ගේ දෙයක් ගත්තාය කියා හෝ තමන්ට අලාභයක් කළාය කියා හෝ තමන්ට කපටි කමක් කළාය කියා හෝ පළිගැනීමට අනුන් ගේ දේවල් ගන්නට තැත් කරති. තමන්ට අලාභයක් කළ නිසාය කියා අන් සතු දේවල් ගැනීමට නිදහසක් නැත. කිනම් කරුණක් නිසා වුව ද හිමියා නුදුන් දෙයක් ගත හොත් සික පදය කැඩෙන බව සැලකිය යුතු ය.
වරක් පාවිච්චි කළ තැපැල් මුද්දර, දුම්රිය ටිකැට් පත් නැවත පාවිච්චි කිරීම, පහළ පංක්තියෙක ටිකැට් වලින් ඉහළ පංක්තියෙක ගමන් කිරීම, අවසර පත් නොගෙන දුම්රියවල ගමන් කිරීම, අයබදු නොගෙවා ගුවන් විදුලි යන්ත්‍ර පාවිච්චි කිරීම, රථවාහන පාවිච්චි කිරීම යන මේවායින් ද පැවිද්දන් පරිස්සම් විය යුතු ය.
3. අබ්‍රහ්මචරියා වේරමණී
ගිහියන්ගේ ස්වභාවයක් වූ මෛථුන සේවනයෙන් වැළකීම “අබ්‍රහ්මචරියා වේරමණී” නම් වේ. යෝනි මාර්ග - ගුද මාර්ග - මුඛ මාර්ග යන මාර්ගත්‍රයෙන් එකක මෛථුන සේවන චිත්තයෙන් තමාගේ අංගජාතය තල ඇටයක් පමණ දුරට වුව ද ප්‍රවේශ කිරීමෙන් මේ සිකපදය බිඳේ. සේවන චිත්තය ය, මාර්ගයෙක්හි ස්වීය මාර්ගය ප්‍රවේශ කිරීම ය කියා මෙහි අංග දෙකකි. අනුන් විසින් බලහත්කාරයෙන් ප්‍රවේශ කිරීමේදී නො ඉවසුව හොත් සික පදය නො බිඳේ. ඉවසුව හොත් බිඳේ. අයථා මෛථුනයෙන් සිකපදය නො බිඳේ. එයින් සාමණේරයා දඬුවම් ලැබිය යුත්තෙක් වේ.
4. මුසාවාදා වේරමණී.
බොරු කීමෙන් වැළකීම “මුසාවාදා වේරමණී” නම් වේ. කියන කාරණය අසත්‍යයක් වීම ය. අනුන් රවටන අදහස ය, කීමෙන් හෝ ලිවීමෙන් හෝ අත් පා ආදියෙන් සංඥා කිරීමෙන් හෝ බොරුව අනුන්ට ඇඟවීම ය. අන්‍යයන් එය තේරුම් ගැනීම ය යන අංග සතරින් යුක්ත මුසාවාදයෙන් මේ සික පදය බිඳේ. හොඳට නො ඇසීමෙන් හෝ බස නොදැනීමෙන් හෝ අසන්නා කියන දෙය තේරුම් නොගත හොත් සික පදය නොබිඳේ. සිංහල බස නො දන්නකුට සිංහලෙන් කොතෙක් බොරු කීව ද ඔහුට නො තේරෙන බැවින් සික පදය නො බිඳේ. බොරු කීමේ චේතනාවෙන් තොරව කියන අසත්‍යයෙන් ද සිකපදය නො බිඳේ. කවට කමට වුවද බොරුවක් කියුව හොත් සිකපදය බිඳී සාමණේරයා පරිජි වේ. බොහෝ සෙයින් සාමණේරයන් පරිජි වන්නේ මේ සික පදය කඩා ගැනීමෙනි. සමහරුනට බොරු කීමේ පුරුද්ද පිහිටා තිබේ. ඔවුහු විනෝදය පිණිස ද බොරු කියති. කිසි ම ප්‍රයෝජනයක් නැතිව ද බොරු කියති. බොරු කීමෙන් ලබන විනෝදය ආස්වාදය නින්දිත ය. බොරු කීමේ පුරුද්ද නො හළ සාමණේරයනට සෑම කල්හි ම වාසය කරන්නට සිදු වන්නේ දුශ්ශීලව ය. එය ඉතා භයානක ය. සත්‍යවාදීත්වය ශ්‍රමණයකු තුළ පිහිටිය යුතු උසස් ගුණයෙකි. ඒ ගුණය ඇති කැර ගැනීමට ශ්‍රමණයන් විසින් විශේෂයෙන් ම උත්සාහ කළ යුතු ය. කලක් සිහියෙන් යුක්ත ව බොරු කීමෙන් පරිස්සම් වී වාසය කිරීමෙන් බොරු නො කීම පුරුදු කර ගත හැකි ය.
5. සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණී.
මදයට හා ප්‍රමාදයට හේතු වන මද්‍යපානයෙන් වැළකීම “සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී” නම් වේ. මදයට හා ප්‍රමාදයට හේතු වන මද්‍යවර්ගයක් වීම ය, එය පානය කිරීමේ දඅහස ය, පානය කිරීමට උත්සාහ කිරීම ය, මද්‍ය ශරීරගත වීම ය යන චතුරංගයෙන් යුක්ත සුරාපානයෙන් මේ සික පදය බිඳේ.
මෙහි “මදය” යි කියනුයේ බලවත් මෝහයෙන් යුක්ත වන උඩඟුකමට ය. “ප්‍රමාදය” යි කියනුයේ කාය දුශ්චරිත වාක් දුශ්චරිත මනෝ දුශ්චරිතයන්හි හා පස්කම් සුවයෙහි ද සිත අලවා වාසය කිරීමට ය. ප්‍රමාදය ඇති වන්නේ මදය, ඇති වීම නිසා ය. මද ප්‍රමාද දෙකට හේතුවන රා අරක්කු ආදි බීම වර්ගයකින් පිනි බිඳක් පමණ වුව ද පානය කිරීමෙන් මේ සිකපදය බිඳේ. මදයට හා ප්‍රමාදයට හේතු වන කංසා ආදි ද්‍රව්‍ය කෑම ද සුරාපානයට අයත් ය. නොදැන වුවද සුරාපානය කිරීමෙන් උපසම්පන්න භික්ෂූන්ට පචිති ඇවැත් වේ. සාමණේර ශීලය බිඳෙන්නේ සුරාවක් බව දැන සුරාපානය කිරීමේ අදහසින් ම සුරාව පානය කළහොත් ය. පුවක් - දුම්කොළ ආදියෙහි ද මත් කරවන ස්වභාවයක් ඇත්තේ ය. ඒවායින් වන මත ශරීරය ක්ලාන්ත වීම පමණෙකි. ඉහත කී මදය හා ප්‍රමාදය ඒවායින් ඇති නොවේ. එබැවින් ඒවා වැළඳීමෙන් මේ සිකපදය නො බිඳේ. මද්‍ය ගන්ධය - රසය නැති මද්‍ය මිශ්‍ර බෙහෙත් පාවිච්චියෙන් ද මේ සිකපදය නො බිඳේ. රෝග සුවය පිණිස වළඳන මද ප්‍රමාදයන්ට හේතු නො වන මද්‍ය ගන්ධය ඇති අරිෂ්ට ආසවයන් වැළඳීමෙන් ද වරද නො වේ.
6. විකාල භෝජනා වේරමණී.
බත් ව්‍යඤ්ජන කැවිලි පෙවිලි පලතුරු ආදි යාවකාලික ආහාරයන් නො කල්හි වැළඳීමෙන් වැළකීම “විකාල භෝජනා වේරමණී” නම් වේ. අරුණෝදයේ පටන් ම මධ්‍යාහ්නය දක්වා කාලයෙහි පමණක් බුද්ධාදි ආර්‍ය්‍යයෝ ආහාර වළඳන්නා හ. ඒ කාලය හැර දවසේ ඉතිරි කාලය විකාල නම් වේ. විනයෙහි කන බොන දෑ සියල්ල ම යාවකාලික ය - යාමකාලිකය - සත්තාහ කාලිකය - යාවජීවිකය කියා කොටස් සතරකට බෙදා තිබේ. විකාලයෙහි යාවකාලික ආහාරයක් උගුරෙන් ඔබ්බට ගිලීමෙන් මේ සිකපදය බිඳේ. විකාලය වීම ය, යාවකාලික ආහාරයක් වීම ය, ගිලීම ය කියා විකාල භෝජනයට අංග තුනක් ඇත්තේ ය.
මේ සිකපදය රැකිය හැකි වීමට අරුණ හා මධ්‍යාහ්නය දත යුතු ය. “අරුණය” යි කියනුයේ හිරු උදාවීමට කලින් අහසෙහි නැගෙනහිර පැත්තේ පෙනෙන අප්‍රකට රතු පැහැයෙන් යුක්ත ආලෝකය ය. ඒ ආලෝකය මතුවීමට අරුණ නැඟීම යයි කියනු ලැබේ. විනය ක්‍රමයේ සැටියට දිනයේ පටන් ගැනීම ගණන් ගන්නේ අරුණෝදයෙනි. අරුණ නඟින වේලාව පිළිබඳ නොයෙක් ආචාර්ය මත ඇත්තේ ය. එය පැය විනාඩි ගණන්වලින් හරියට දැක්වීමට දුෂ්කර ය. සාමාන්‍යයෙන් පෙරවරු 5 ටත් 5-30 ටත් අතර කාලයේ අරුණ නැඟුණු වේලාවේ පටන් පැවිද්දන්ටත් අටසිල් රක්නා උපාසකෝපාසිකාවන්ටත් ආහාර වැළඳීම සුදුසු ය. අරුණ නැඟීමට කලින් වැළඳුව හොත් සිකපදය බිඳේ. අලුයම් කාලයේ අහස දෙස බලා අරුණ සොයා ගත යුතු ය.
සාමාන්‍යයෙන් දවල් දොළහ මධ්‍යාහ්නය ලෙස සලකනු ලැබේ. එහෙත් සෑම දිනයකම මධ්‍යාහ්නය දවල් 12 ලෙස නො සැලකිය යුතු ය. රෑ දාවල් ප්‍රමාණය දිනෙන් දින වෙනස් වේ. අවුරුද්දේ සමහර කාලයක දවාල පැය දොළසකට අඩුය. සමහර කාලයක පැය දොළසකට වැඩි ය. සූර්‍ය්‍යයා උදාවන වේලාව හා අස්ත වන වේලාව පඤ්චාංග ලිත්වල සඳහන් කර තිබේ. දවසේ ප්‍රමාණය එයින් සලකා ගෙන මධ්‍යාහ්නය සොයා ගත යුතු ය. සමහර දිනයෙක දොළහට විනාඩි ගණනකට කලින් ද සමහර දිනයෙක දොළහ පසු වී විනාඩි ගණනෙකින් ද මධ්‍යාහ්නය පැමිණෙන්නේ ය. විකල් බොඩුන් සික පද රක්නවුන් විසින් මධ්‍යාහ්නය පැමිණිමට කලින් ආහාර වැළඳීම අවසන් කර ගත යුතුය. මධ්‍යාහ්නය ඉක්මීමෙන් පසු එක් බත් හුලකුදු වැළඳුව හොත් සික පදය බිඳේ.
ගිහියාගේ හා පැවිද්දාගේ වෙනස කැපී පෙනෙන කරුණු වලින් එකක් මේ සික පදය යි. එ බැවින් මෙය සැහැල්ලු කොට නො සිතා ආදරයෙන් රැකිය යුතු ය. විකාල භෝජනයෙන් නො වළකින පැවිද්දා ගේ තත්ත්වය ඉතා පහත් ය.
7. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී
මෙයින් කියැවෙන්නේ නැටීම - නැටවීම - නටනු බැලීම - ගී කීම - කියවීම - කියනු ඇසීම, බෙර නලාදිය වාදනය කිරීම - කරවීම - වාදනය ඇසීම, මල්ලව පොර, ගවපොර - අසුන්ගේ තරග, දිවීම් ආදි ශාසනයට පටහැණි දෑ කරවීම් - බැලීම් - යන මේවායින් වැළකීම ය. තමා ඉන්නා තැනට පෙනෙන ඇසෙන නැටුම් ගැයුම් වැයුම් දැකීමෙන් හා ඇසීමෙන් සික පදය නො බිඳේ. අන් තැනකට ගොස් බැලීමෙන් - ඇහීමෙන් සික පදය බිඳේ. තමා නැටීම හෝ නැටවීම කළ හොත් සික පදය බිඳේ. ගැයුම් වැයුම් ද තමා කළේ හෝ අනුන් ලවා කරවූයේ හෝ මේ සික පදය බිඳේ. යටත් පිරිසෙයින් මොනර නැටුමක් වුව ද අන් තැනකට ගොස් බැලුව හොත් සික පදය බිඳේ. තමා යම් කිසි කරුණක් නිසා යන අතරමග දී නැටුම් පෙනීමෙන් හා ගැයුම් වැයුම් ඇසීමෙන් සිකපදය නො බිඳේ.
“සබ්බං අන්තරාරාමේ ඨිතස්ස පස්සතෝ අනාපත්ති. පස්සිස්සාමීති විහාරතෝ විහාරං ගච්ඡන්තස්ස ආපත්ති” යනුවෙන් ආරාමය තුළදී නැටුම් දැකීමෙන් ඇවැත් නො වන බව හා නැටුම් බැලීමට විහාරයෙන් විහාරයට ගිය හොත් ඇවැත් වන බවත් විනය අටුවාවෙහි දක්වා තිබේ. බුද්ධදේශනාව වුව ද විකාර කොට ගීතයක් වශයෙන් ගැයුමෙන් සික පදය බිඳේ. බුදු සස්නෙහි සූත්‍ර වත ය, ජාතක වතය, ගාථා වතය කියා කීම් ක්‍රම දැක්වෙන්නේ ය. ඒ ක්‍රම නසා, පමණට වඩා ඇද, දහම ද නො කිය යුතු ය. පමණට වඩා ඇද කීම නම් ඒ ඒ අකුරට අයිති මාත්‍රා ගණන ඉක්මවා දික් ගස්සා විකාර කොට කීම ය. ශ්‍රවණ මධුරත්වය ඇති වන පරිදි පවත්වන සරභඤ්ඤ නම් වූ දහම් දෙසීමේ ක්‍රමයක් ඇත්තේ ය. එය පැවිද්දන්ට සුදුසු ය. එ සේ දහම් දෙසීමේ දී ද අකුරු නොනසා ඒ ඒ අකුරට නියමිත මාත්‍රා ගණනින් ම එය කළ යුතු ය. තරංගවත්තාදි වශයෙන් සරභඤ්ඤයේ ක්‍රම දෙතිසක් ඇති බව විනය අටුවාවෙහි දැක්වේ. ඒවා ගැන විස්තරයක් දැනට ඇති පොතක දක්නට නැත.
8. මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී.
මේ සික පදයෙහි තේරුම:- මල් ය සුවඳ ය විලවුන් ය යන මේවායින් ශරීරය සැරසීම, ශරීරයේ අඩු තැන් පිරවීම, සම පැහැපත් කිරීම යන මේවායින් වැළකීමය යනුයි. ගෙතූ හෝ නොගෙතූ මල්වලින් හා රන් රිදී ආදියෙන් කළ අලංකාර භාණ්ඩවලින් ද ශරීරය සැරසීමෙන් මේ සික පදය බිඳේ. අලංකාරය පිණිස නූලක් වුව ද පැළඳීමෙන් සික පදය බිඳේ. ආරක්ෂාව පිණිස පිරිත් නූල් ආදිය පැළඳීමෙන් සික පදය නො බිඳේ. සුවඳ වර්ග ඇඟ ගල්වන කල්ක වර්ග හා සුණු වර්ග යම්කිසි ආබාධයක් දුරු කරගනු පිණිස බෙහෙතක් වශයෙන් ඇඟ ගැල්වීමෙන් සික පදය නො බිඳේ.
9. උච්චාසයන මහාසයනා වේරමණී.
පමණට වඩා උස් අසුන් හා මහ අසුන් නම් වූ අකප්පිය අසුන් පරිභෝග කිරීමෙන් වැළකීම, උච්චාසයන මහාසයනා වේරමණී නමි.
රියනකට වඩා උස් පා ඇති අසුන උච්චාසයනය ය. බොහෝ සැප පහසු ලැබෙන්නා වූ ද, බොහෝ ලස්සන වූ ද, වටිනාකම අධික වූ ද, අසුන් මහ අසුන් ය. විනයෙහි උච්චාසයන මහාසයනයන් දක්වා ඇත්තේ බුද්ධ කාලයේ ජීවත් වූ මිනිසුන් පරිභෝග කළ වස්තුවලිනි. දැනට ඇත්තා වූ භාණ්ඩ ඒවාට බොහෝ වෙනස් ය. මෙකල ඉන්නා මිනිසුන් පරිභෝග කරන ඇඳ පුටු ඇතිරිලි වලින් මහාසයනය වන නො වන ඒවා බුදුන් වහන්සේ විසින් ඒ කාලයේ දී මහසුන් වශයෙන් වදාරා ඇති අසුන්වල ලක්ෂණ අනුව සැලකිය යුතු ය.
“න භික්ඛවෙ, උච්චාසයන මහාසයනානි ධාරේ තබ්බානි. සෙය්‍යථිදං? ආසන්දි පල්ලංකෝ ගෝනකෝ චිත්තකා පටිකා පටලිකා තූලිකා විකතිකා උද්දලෝමි එකන්තලෝමි කට්ඨිස්සං කෝසෙය්‍යං කුන්තකං අස්සත්ථරං හත්ථත්ථරං අජිනප්පවේණි කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතෝලෝහිතකූපධානං. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”
මේ පාඨයෙහි ආසන්දි යනුවෙන් දැක්වෙන්නේ පමණට වඩා උස් පා ඇති අසුනෙකි. එය උච්චාසයනයට අයත් ය. ඉතිරි අසුන් එකුන් විස්ස මහාසයනයෝ ය. පල්ලංක යනු පාවලට නපුරු සතුන්ගේ රූප යොදා ඇති අසුන් ය. ගෝනක යනු සතරඟුලකට වඩා දික් ලොම් ඇති පලස ය. චිත්තක යනු රත්නයන්ගෙන් විසිතුරු කළ එළු ලොම් ඇතිරි ය. පටිකා යනු ලොමින් කළ සුදු ඇතිරිය ය. පටලිකා යනු ඝන ව මල් යොදා කළ එළු ලොම් ඇතිරි ය. තූලිකා යනු පුළුන් පිරවූ ගුදිරියය. විකතිකා යනු සිංහ ව්‍යාඝ්‍රාදී රූපවලින් විසිතුරු කළ එළු ලොම් ඇතිරිය ය. උද්දලෝමි යනු එක් පසෙකින් ලොම් මතු වී ඇති ඇතිරිය ය. ඒකන්තලෝමි යනු උඩ යට දෙපසෙහි ම මතු වූ ලොම් ඇති ඇතිරිය ය. කට්ඨිස්ස යනු පට නූල් අතර රන් කෙඳි යොදා කළ ඇතිරිය ය. කෝසෙය්‍ය යනු රත්නයන් අල්වා ඇති පට ඇතිරිය ය. කුන්තක යනු නිළියන් සොළොස් දෙනකුන්ට නැටිය හැකි ඇතිරිය ය. හත්ථත්ථර යනු ඇතු පිට එළන ඇතිරිය ය. අස්සත්ථර යනු අසු පිට එළන ඇතිරි ය. අජිනප්පවේණි යනු ඇඳේ ප්‍රමාණයට දිවි සමින් මැසූ ඇතිරිය ය. කදලිමිගපවරපච්චත්ථරණ යනු කෙහෙල් මුව නම් මුවන්ගේ සම්වලින් කළ උසස් ඇතිරිය ය. සඋත්තරච්ඡද යනු රතු වියන් ඇති අසුන ය. උභතෝලෝහිතකූපධාන යනු හිසට හා පයට රතු කොට්ටා යොදා ඇති ඇඳ ය.
මේ උච්චාසයන මහාසයන වලින් ආසන්දි නම් වූ උස් අසුනය, පුළුන් ගුදිරි ය, පල්ලංක නම් වූ නපුරු සතුන් ගේ රූප පාවලට යෙදූ අසුන ය යන තුන හැර ඉතිරි අසුන් සියල්ල ගමෙහිදීත් දානශාලාවලදීත් ගිහියන් විසින් පනවා දුන් කල්හි ඒවායේ වාඩිවීමට තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත්තේ ය. එ සේම පුළුන් යොදා කුෂන් කළ ඇඳ පුටුවල වාඩිවීමට අනුදැන වදාරා ඇත්තේ ය. ධර්මාසනයෙහි ද ඒ අකප්පිය අසුන් කැප බව දක්වා තිබේ. ගිහියන් පිළියෙළ කළ ඒ මහාසයන කැප වන්නේ ද වාඩි වීමට පමණෙකි. ගිහියන් පිළියෙළ කර දුන්නේ ද ඒවායේ නිදා ගැනීම නො කළ යුතු ය.
10. ජාතරූපරජතපටිග්ගහනා වේරමණී.
මෙහි ජාතරූප යනු රන්ය. රජත යනු ගනුදෙනුවට වලංගු වන කිනම් දෙයකින් හෝ කළ මුදල් ය. ඒවා පිළිගැනීමෙන් වැළකීම ය. මෙහි පිළිගැනීම ය කියනුයේ අතට ගැනීම ම නො වේ. යමකු මුදලක් මෙය නුඹවහන්සේට දෙමි ය කියා ඉදිරියෙහි තැබූ කල්හි එය ප්‍රතික්ෂේප නො කොට තුෂ්ණීම්භූත වීම් වශයෙන් සිතෙන් පිළිගත හොත් එයින් ද සික පදය බිඳේ. පිළිගැනීමක් නැති ව අනුන් අයත් දෙයක් හෝ විහාරයේ යම්කිසි කර්මාන්තයකට දෙන මුදලක් හෝ අතින් ඇල්ලීමෙන් සික පදය නො බිඳේ. මුදල් අනාමාස වස්තු බැවින් සාමණේරයන් විසින් අතින් ඇල්ලීමෙනුත් වැළකීම යහපති. විහාරයෙහි වැටී තිබෙන්නා වූ හෝ අමතක වී ගොස් ඇත්තා වූ හෝ අන්සතු මුදලක් හිමියකු පැමිණි විට දීමේ බලාපොරොත්තුවෙන් අතින් ම ගෙන පරිස්සම් කර තිබීමෙන් වරදක් නො වේ.
“අනුජානාමි භික්ඛවෙ, දසහංගෙහි සමන්නාගතං සාමණේරං නාසෙතුං, පාණාතිපාති හෝති, අදින්නාදායි හෝති, අබ්‍රහ්මචාරි හෝති, මුසාවාදි හෝති, මජ්ජපායී හෝති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සංඝස්ස අවණ්ණං භාසති, මිච්ඡාදිට්ඨිකො හෝති, භික්ෂුනීදූසකො හෝති, අනුජානාමි භික්ඛවෙ, ඉමේහි දසහංගේහි සමන්නාගතං සාමණේරං නාසෙතුං.”
තේරුම:
මහණෙනි, අංග දශයකින් යුක්ත ව සාමණේරයා නසන්නට අනු දනිමි. ප්‍රාණඝාතය කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේ ද, මෛථුන සේවනය කරන්නේ වේද, බොරු කියන්නේ වේ ද, මද්‍යපානය කරන්නේ වේද, බුදුන්ගේ අගුණ කියා ද, දහමෙහි අගුණ කියා ද, සඟනගේ අගුණ කියා ද, මිසදිටු ගත්තේ වේද, භික්ෂුණීන් දූෂණය කරන්නේ වේද මහණෙනි, මේ දශාංගයෙන් යුක්ත සාමණේරයා නසන්නට අනුදනිමි.
“සංවාසනාසනාය - ලිංග නාසනාය - දණ්ඩකම්මනාසනාය” යි නාසනා තුනක් ඇති බව විනය අටුවාවෙහි “කණ්ටක ශික්ෂාපද වර්ණනාවෙහි” දක්වා තිබේ. මෙහි අදහස් කරන්නේ ලිංග නාසනාවය. එනම් පැවිද්දෙන් පහ කිරීම ය. පැවිද්දෙන් පහ කළ යුතු බවට පැමිණීම පාරාජිකා වීමකි. එබැවින් මේ දශ නාශනාවට “දශ පාරාජිකාය” යි ද කියනු ලැබේ.
නාශනාංග දශයෙන් ප්‍රාණඝාතය - අදත්තාදානය - අබ්‍රහ්මචර්යාව - මෘෂාවාදය - සුරාපානය යන මේ කරුණු පස සාමණේර දශ ශීලයේ මුල් සික පද පස හා සම්බන්ධ කරුණු ය. උපසම්පන්න භික්ෂූන්ට වනාහි ප්‍රාණඝාතාදිය කිරීමෙන් එකින් එකට වෙන් වශයෙන් ඇවැත් වෙයි. සාමණේරයන්ට සික පදයෙන් පදයට වෙන වෙන ම ඇවැත් නැත. මුල් සික පද පසින් එකකුදු කඩ කළ හොත් සරණ ගමනයේ පටන් සියලු සාමණේර ශීලය බිඳේ. එයින් ම උපාධ්‍යාය ග්‍රහණය ද අහෝසි වෙයි. කලින් ලබා තුබූ සෙනසුන ද ඔහුට අහිමි වේ. වස් කාලයේ දී නම් වස ද කැඩේ. ඉන් පසු ඔහුට තිරි වන්නේ ශ්‍රමණ ලිංගය පමණකි. එසේ පරිජි වූ සාමණේරයා වරද පිළි ගෙන නැවත සංවරයෙහි පිහිටනු කැමැත්තේ නම්, ලිංග නාසනාවක් නො කොට නැවත සරණය දිය යුතු ය. සික පද සමාදන් කරවිය යුතු ය. උපාධ්‍යාය දිය යුතු ය. ඉදින් සාමණේරයා නො හික්මී නැවත නැවත ද වරද කෙරේ නම් සංඝයාට දන්වා සිවුරු හරවා බැහැර කළ යුතු ය. නැවත ඔහු හික්මී පැවිද්ද ඉල්ලා ආයේ නම් සංඝයාට දන්වා පැවිදි කළ යුතු ය.
බුදුන් වහන්සේ ගේ අගුණ කීම, ධර්මයේ අගුණ කීම, සංඝයාගේ අගුණ කීම යන මේ තුනෙන් යම්කිසිවක් කරන සාමණේරයා හට ආචාර්යෝපාධ්‍යායාදීන් විසින් එසේ නො කරන ලෙස අවවාද කළ යුතු ය. ඉදින් සාමණේරයා හික්මේ නම් සඟ මැද වරද ප්‍රකාශ කරවා නැවත ඔහුට සරණ දිය යුතු ය. සිල් දිය යුතු ය. ලබ්ධිය නො හරී නම් සිවුරු හරවා බැහැර කළ යුතු ය. මිසදිටු ගැනීම ගැන පිළිපැදිය යුත්තේ ද එසේ ම ය. භික්ෂුණී දූෂණය ඉතා මහත් වරදෙකි. එය කළ සාමණේරයාට නැවත පැවිද්ද හෝ උපසම්පදාව නො ලැබිය හැකි ය. ඔහු සිවුරු හරවා යැවිය යුතු ය. ගිහියකු විසින් එය කළේ ද හේ පැවිද්දට හා උපසම්පදාවට අභව්‍ය පුද්ගලයෙක් වේ. භික්ෂුණී දූෂණය අබ්‍රහ්මචර්යාවට ම අයත් ව තිබිය දී මෙසේ වෙන් වූ නාසනාංගයක් වශයෙන් වදාරා තිබෙන්නේ එය බරපතල කරුණක් බැවිනි.
“අනුජානාමි භික්ඛවේ, පඤ්චහංගේහි සමන්නාගතස්ස සාමණේරස්ස දණ්ඩකම්මං කාතුං, භික්ඛූනං අලාභාය පරිසක්කති, භික්ඛුනං අනත්ථාය පරිසක්කති, භික්ඛූනං ආවාසය පරිසක්කති, භික්ඛූනං අක්කෝසති, පරිභාසති, භික්ඛූ භික්ඛූහි භේදෙති. අනුජානාමි භික්ඛවේ, ඉමේහි පඤ්චහංගේහි සමන්නාගතස්ස සාමණේරස්ස දණ්ඩකම්මං කාතුං.”
තේරුම:
මහණෙනි, අංග පසෙකින් යුක්ත සාමණේරයා හට දඬුවම් කිරීමට අනුදනිමි. භික්ෂූනට අලාභ කරන්නට උත්සාහ කෙරේ ද, භික්ෂූනට අනර්ථ කරන්නට උත්සාහ කෙරේ ද, භික්ෂූනට ආවාදවල විසිය නොහෙනු පිණිස උත්සාහ කෙරේ ද, භික්ෂූනට ආක්‍රෝශ පරිභව කෙරේ ද, භික්ෂූන් භික්ෂූන් හා බිඳවා ද: මහණෙනි, මේ පඤ්චාංගයෙන් යුක්ත සාමණේරයා හට දඬුවම් කරන්නට අනු දනිමි.
විකාල භෝජනාදි සික පද පස කඩකරන සාමණේරයා ද, දඬුවම් ලැබිය යුතු වේ. ඉහත කී භික්ෂූනට අලාභ කිරීම ආදි කරුණු පසට විකාල භෝජනාදි කරුණු පස එකතු වූ කල්හි සාමණේරයනට දඬුවම් ලැබීමට සුදුසු කරුණු දසයක් වේ. මේ දශය “දසදඬුවම්වත්ය” කියා වෙන් කොට හඳුන්වන්නේ දඬුවම් ලැබිය යුතු කරුණු අතුරෙන් ප්‍රධාන කරුණු වීම නිසා ය. ලිංග නාසනා දසයෙන් අන්‍ය සියලු ම වරදවලට සාමණේරයෝ දඬුවම් ලැබිය යුත්තෝ ය. වරදවලට ප්‍රතිකාර වශයෙන් ඇවැත් දෙසීම ආදි විනය කර්ම සාමණේරයනට නැති බැවින් ඔවුන් විසින් වරදට අනුව දඬුවම් කිරීමෙන් ම සීලය පිරිසිදු කර ගත යුතු ය. දඬුවම් නො විඳ සිල් සමාදන් වීමෙන් පමණක් සාමණේරයනට ශුද්ධිය නො ලැබිය හැකි ය. පාරාජිකා වන වරදක් කැරුණ හොත් නැවත සරණ ගැනීම කළ යුතු ය. එය නොකරන තෙක් ඔහු දුශ්ශීල ය. අනෙක් වරදවලට දඬුවම් විඳීමම ශුද්ධියට ප්‍රමාණවත් ය. එහෙත් වරද කළ සාමණේරයන් ලවා දඬුවම් කරවා ආයති සංවරයෙහි පිහිටවීම පිණිස සික පද සමාදානයත් කරවිය යුතු බව විනය අටුවාවෙහි කියා ඇත්තේ ය.
“භික්ෂූනට අලාභ කිරීම ආදි වරද පස කරන්නා වූ සාමණේරයනට කළ යුතු දඬුවම කුමක් දැ”යි භික්ෂූන් විසින් විචාළ කල්හි “අනුජානාමි භික්ඛවෙ, ආවරණං කාතුං” යි දඬුවම් වශයෙන් ආවරණය කිරීම අනුදැන වදාළ සේක. මෙහි දැක්වෙන ආවරණය නම්, වරද කළ සාමණේරයා හට ආචාර්ය උපාධ්‍යායයන් වාසය කරන ස්ථාන වලට හා ඔහුට වාසය කිරීම සඳහා ලැබී ඇති තැනටත් යන්නට නොදීම ය. එය කොතෙක් කළ යුතු ද යන බව විනය පාළියෙහි දක්වා නැත. වරදට සුදුසු පරිදි දඬුවම් වශයෙන් දිය දර වැලි ආදිය ගෙන්වීමත් කළ යුතු බව විනය අටුවාවෙහි දැක්වේ. එයින් සලකන්නට ඇත්තේ සාමණේරයා විසින් යම් කිසි දඬුවමක් කළ පසු හෝ වරද පිළිගෙන ඒ බව ආරෝචනය කළ පසු හෝ ආවරණය නැවැත්විය යුතු බව ය.
සමහර විට එක සාමණේරයකු අතින් දඬුවම් ලැබීමට සුදුසු බොහෝ වරද සිදුවිය හැකි ය. ඒවාට වෙන වෙන ම දඬුවම් කරවන්නට ගියහොත් සාමණේරයකුට පාරිශුද්ධිය ලැබීම දුෂ්කර විය හැකි ය. එබැවින් සිදු වූ හැම ඇවැත්ම එක් කොට දෙසන්නාක් මෙන් සියලු ම වරදවලට එක් දඬුවමක් කරවිය යුතු ය. දඬුවම් පිණිස නිශ්ප්‍රයෝජන වැඩ නො කරවා අවස්ථාවේ සැටියට ඒ ඒ ස්ථානවලට ප්‍රයෝජනය වන හැමදීම් ආදි කිනම් වැඩක් හෝ කරවීම සුදුසු ය.
හැඳීම පෙරවීම දෙක මේ බුදුසස්නෙහි සැලකිය යුතු කරුණු දෙකකි. එය විනයානුකූල ව කරන්නට නොපුරුදු කර ගත් පැවිද්දා දිවි හිමියෙන් නිතර වරදට හසුවන්නෙක් වේ. ඒ ගැන සැලකිල්ලක් කරන්නකුට වුව ද හරියට හැඳීම පෙරවීම පුරුදු වන්නට දින බොහෝ ගණනක් ගත වේ.
පරිමණ්ඩලං නිවාසෙස්සාමීති සික්ඛා කරණියා.
පරිමණ්ඩලං පාරුපිස්සාමීති සික්ඛා කරණියා.
සුපටිච්ඡන්නෝ අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණියා.
සුපටිච්ඡන්නෝ අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
මෙසේ හැඳීම පෙරවීම පිළිබඳ සේඛියා සික පද සතරෙක් ඇත්තේ ය. “පරිමණ්ඩලං නිවාසෙස්සාමීති සික්ඛා කරණීයා” මෙහි තේරුම, තැන් තැන් වලින් උස් පහත් වී නොසිටින ලෙස එක මට්ටමකට හැඳීම් පුරුදු කර ගත යුතු ය යනු යි.
“උද්ධං නාභිමණ්ඩලං අධො ජාණුමණ්ඩලං පටිච්ඡා දෙන්තෙන ජාණුමණ්ඩලස්ස හෙට්ඨා ජංඝට්ඨිකතො පට්ඨාය අට්ඨංගුලමත්තං නිවාසනං ඔතාරෙත්වා නිවාසෙතබ්බං”
යනුවෙන් විනය අටුවාවෙහි දක්වා ඇති පරිදි උඩින් නාභියත් යටින් දෙ දණමඩලත් වැසෙන සේ දණමඩලට යට කෙණ්ඩා ඇටයෙහි මුල පටන් අටඟුලක් පහළ බස්වා එක මට්ටමට සිටින සේ අඳනය හැඳිය යුතු ය. යමකු ගේ කෙණ්ඩා ඉතා දික් හෝ වේ නම්, ඒවායේ අශෝභන වණකැලැල් හෝ වේ නම්, කෙණ්ඩා මස ඉතා මහත් හෝ වේ නම් අටඟුලට වඩා පහත් කොට හැඳීමට ද වටනේ ය. අඳනය කෙටි නම් නැබ මඬල සිවුරෙන් ද වැසෙන බැවින් එය නොවසා හැඳීම ද සුදුසු බව කියා තිබේ.
“එවං නිවාසෙන්තස්ස පන නිවාසනං පමාණිකං වට්ටති. තත්‍රිදං පමාණං, දීඝතො මුට්ඨිපඤ්චකං, තිරියං අඩ්ඪතෙය්‍ය හත්ථං. තාදිසස්ස අලාභෙ තිරියං ද්විහත්ථප්පමාණම්පි වට්ටති.”
(සමන්තපාසාදිකා)
එසේ හඳින්නහුට ප්‍රමාණවත් අඳනයක් තිබිය යුතු ය. එහි ප්‍රමාණය දිගින් සතර රියනක් හා මිටි රියනක් ද සරසින් දෙරියන් හමාරක් ද විය යුතු ය. එබඳු අඳනයක් නැති කල්හි සරසින් දෙරියන් අඳනයත් වටනේ ය යනු එහි තේරුම ය.
බුදුන් වහන්සේ අනුදැන වදරා ඇත්තේ එක් අඳනයක් පමණක් ඇඳීමට ය. යටින් එකක් ඇඳ උඩින් තවත් එකක් ඇඳීම නුසුදුසු ය. දෙකක් අඳිත හොත් දෙක ම එක් කොට එක් අඳනයක් ලෙස හැඳිය යුතු ය. යම් කිසි ආබාධයක් නිසා දෙකක් හැඳීමෙන් වරදක් නැත.
“අන්තො වා එකං කාසාවං තථා නිවාසෙත්වා බහි අපරං නිවාසෙන්ති. සබ්බං න වට්ටති. ගිලානෙන පන අන්තො කාසාවං ඔවට්ටිකං දස්සෙත්වා අපරං උපරිනිවාසෙතුං ලභති. අගිලානෙන ද්වේ නිවාසෙන්තෙන සගුණං කත්වා නිවාසෙතබ්බානි.
(ඛුද්දකවත්ථු ඛන්ධක අට්ඨකථා)
පරිමණ්ඩලං පාරුපිස්සාමිති සික්ඛා කරණියා මේ සික පදයේ තේරුම: තැන් තැන්වලින් උස් පහත් වී සිටින පරිදි හෝ සාරිය ඇන්දාක් මෙන් එක පැත්තක් පහත් වී සිටින පරිදි හෝ නො හැඳ, සෑම පැත්ත ම එක මට්ටමකට සිටිනා පරිදි සිවුරු පෙරවීම පුරුදු කර ගත යුතු ය යනු යි. අඳනය හැඳීමට ප්‍රමාණයක් ඇතිවාක් මෙන් සිවුර පෙරවීමට ද ප්‍රමාණයක් තිබිය යුතු ය. ඒ ප්‍රමාණය විනය පෙළ අටුවාවල දක්වා නැත. “ජාණු මණ්ඩලතො හෙට්ඨා චතුරංගුලමත්තං ඔතාරෙත්වා අනොලම්බෙත්වා පරිමණ්ඩලමෙව පාරුපිතබ්බං” යි විමති විනෝදනී ටීකාවෙහි දණ මඬලින් යටට සතරඟුලක් බස්වා පරිමණ්ඩල කොට සිවුර පෙරවිය යුතු බව දක්වා තිබේ. එසේ සිවුර පෙර වූ කල්හි එය සිටින්නේ අඳනයට සතරඟුලක් ඉහළිනි. සිවුර පෙර වූ කල්හි එහි යටි කොන් දෙක එකිනෙකට උස් පහත් නොවී එක මට්ටමකට සිටින පරිදි ද සිවුරේ යට පැත්තේ වාටිය සැම තැනකින් ම ඒ කොන්වල මට්ටමට සිටින පරිදි ද පෙරවීම පරිමණ්ඩල පාරුපනය ය. මැදින් පහත් වී කොන් උස් වී සිටින ලෙස පෙරවීම වරදවා පෙරවීම ය. සිවුර හොඳින් පොරවා ගත් පසු කොන් පහළ බැස පරිමණ්ඩලය නැති වූවාට වරදක් නැත. එහෙත් එය දැන ගත් කල්හි සකස් කොට පොරවා ගත යුතු ය.
“සුපටිච්ඡන්නො අන්තරඝරෙ ගමිස්සාමිති සික්ඛාකරණියා” මේ සික පදයේ තේරුම, මනා කොට සිවුරෙන් කය වසා ගෙන ගමෙහි යා යුතු ය යනු යි. සුපටිච්ඡන්න ව යා යුතු සැටි අටුවාවෙහි විස්තර කරන්නේ මෙසේ ය. “ගණ්ඨිකං පටිමුඤ්චිත්වා අනුවාතන්තෙන ගීවං පටිච්ඡාදෙත්වා උභො කණ්ණෙ සමං කත්වා පටිසංහරිත්වා යාව මණිබන්ධං පටිච්ඡාදෙත්වා අන්තරඝරෙ ගන්තබ්බං” එහි තේරුම: ගණ්ඨිය අවුණා නුවා කෙළවරින් ගෙළ වසා සිවුරු කොන් දෙස සම කොට (එකට තබා) ආපසු හකුළා (වම් අතෙහි) වළලු කර දක්වා ශරීරය වසා ඇතුළු ගම්හි යා යුතු ය යනු යි. මේ අටුවා පාඨයෙහි ගණ්ඨිය දැමීම මුලට ම කියා ඇත. එය සිවුර පෙරවීමට කලින් කිරීම සඳහා නොව සුප්‍රතිච්ඡන්න ලක්ෂණය දැක්වීමට ය. ගණ්ඨිය දමා ගැනීම සිවුර පෙරවීමෙන් පසු කළ යුත්තෙකි. මෙය බොහෝ දෙනා වරදවා තේරුම් ගන්නා කරුණෙකි. චුල්ලවග්ග පාළියේ වත්තක්ඛන්ධකයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනය කර ඇත්තේ ගණ්ඨිය ඇමිණීම පසු ව කළ යුත්තක් ලෙස ය.
“තිමණ්ඩලං පටිච්ඡාදෙන්තෙන පරිමණ්ඩලං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා සගුණං කත්වා සංඝාටියො පාරුපිත්වා ගණ්ඨිකං පටිමුඤ්චිත්වා ධොවිත්වා පත්තං ගහෙත්වා සාධුකං අතරමාණෙන ගාමො පවිසිතබ්බො.”
මේ තථාගතයන් වහන්සේ වත්තක්ඛන්ධකයේ වදාරා ඇති පාඨයෙකි. මෙහි සඳහන් වන්නේ ගණ්ඨිය ඇමිණීම සිවුරු පෙරවීමෙන් පසු ව කළ යුත්තක් ලෙස ය. කලින් කළත් එයින් වරදක් නම් නැත. පහසු පසුව කිරීම ය.
මේ සුප්‍රතිච්ඡන්න ශික්ඛා පදය ගමට පමණක් පන වන ලද්දකි. පරිමණ්ඩල සිකපද දෙක ගමටත් විහාරයටත් සාධාරණ ය. එ බැවින් සුපටිච්ඡන්න පාරුපනය කිරීමේ දී පරිමණ්ඩල ලක්ෂණය ඇති වන පරිදි කළ යුතු ය.
සුපටිච්ඡන්නෝ අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛාකරණියා. මේ සික පදයේ තේරුම, මනා කොට සිවුරෙන් කය වසා ගෙන ගමෙහි හිඳිය යුතු ය යනු යි. “ගලවාටකතො පට්ඨාය සීසං මණිඛන්ධතො පට්ඨාය හත්ථෙ පිණ්ඩිකමංසතො පට්ඨාය පාදෙ විවරිත්වා නිසීදිතබ්බං” යනුවෙන් බෙල්ලෙහි පටන් හිසත් වළලුකරයේ පටන් අතුත් කෙණ්ඩා මසෙහි පටන් පාදයනුත් විවෘත කොට හිඳිය යුතු බව විනය අටුවාවෙහි දක්වා තිබේ. කියන ලද ප්‍රමාණයට අධික ව උරහිස් අත් ආදිය විවෘත කර ගෙන ගමෙහි නො හිඳිය යුතු ය. ගමෙහි වාසය කිරීම සඳහා ගිය පැවිද්දාට විහාරයෙහි මෙන් එහි ද රිසිසේ විසීමෙන් වරද නො වේ.
තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් ගේ පරිභෝගය පිණිස සිවුරු නවයක් අනුදැන වදාරා තිබේ. එයින් සංඝාටි උත්තරාසංග, අන්තරවාසක යන තුන ප්‍රධාන ය. අන්තරවාසක යනු අඳනය ය. උත්තරාසංග යනු උඩුකය වසනු පිණිස පොරෝනා සිවුර ය. සංඝාටි යනු විහාරයෙන් පිටත යන කල්හි ශරීරය හොඳින් වසාගනු පිණිස පාවිච්චි කරන සිවුර ය. දැනට අඳනය - තනි පට සිවුර - දෙපර සිවුරය” යි ව්‍යවහාර කරන්නේ මේ තුනට ය.
සිවුරුවල ප්‍රමාණ:
සියලු ම සිවුරු බුදුන් වහන්සේගේ සිවුරට කුඩා විය යුතු ය. උන්වහන්සේගේ සිවුරු දිගින්, සුගත් වියතින් නව වියතක් හා පුළුලින් සවියතක් ද වන්නේ ය. සුගත් වියත වඩුරියනෙන් එක්රියන් හමාරෙකි. බුදුන් වහන්සේ ගේ සිවුරෙහි දිග වඩු රියනින් දහතුන් රියන් හමාරක් වන්නේ ය. සුගත චීවරය පමණට දිග පුළුල ඇති සිවුරක් දැනට ඉන්නා අයට වුවමනා නැත. එහෙත් ඉතා කුඩා වුව හොත් පරිමණ්ඩල සුපටිච්ඡන්න සික පද රැකෙන සේ හැඳීම පෙරවීම කරන්නට අපහසු ය. ඉතා මහත් වීමෙන් ද ඒ දෝෂය වේ. එ බැවින් තම තමන්ගේ ශරීර ප්‍රමාණ අනුව සිවුරු පිළියෙළ කර ගත යුතු ය. දිගින් පස් රියනක් වූ ද, පුළුලින් දෙරියනක් හෝ දෙරියන් හමාරක් වූ ද අඳනය සුදුසු ය. තනි පොර දෙ පොට සිවුරු දිගින් පස්රියන් හමාරක් ද, පුළුලින් සතර රියන් හමාරක් ද වීම සුදුසු ය. පස්කඩ සත්කඩ ආදි වශයෙන් සිවුරු කඩ කපා මසා ගත යුතු ය. තුන් සිවුර ම කඩ කපා මසා ගැනීමට රෙදි මඳ වේ නම් එකක් හෝ දෙකක් කඩ නොකපා මසා ගැනීම ද සුදුසු ය. කඩ නොකැපූ සිවුරම නො දැරිය යුතු ය. අලුත් රෙදිවලින් සිවුරු කරන කල්හි අඳනය උත්තරාසංගය යන දෙක තනි පොටට ද සංඝාටිය දෙපොටක් කොට ද කළ යුතුය. රෙදි පරණ නම් අඳනය උත්තරාසංගය දෙපොට කොට ද සංඝාටිය සතරපොට කොට ද, පංසුකූල රෙදිවලින් සිවුරු මසත හොත් කැමති පරිදි ද මසා ගැනීමට අනු දැන වදාරා ඇත්තේ ය. සිවුරු මැසීමේ දී අලංකාරය පිණිස කිසි මැස්මක් නො කළ යුතු ය. ගණ්ඨිවලට යොදන රෙදි කැබලි සිවුරැස් කොට ම ගත යුතු ය. අලංකාරය පිණිස සිවුරුවල දහවලු නො තැබිය යුතු ය.
අංසකඩය බොහෝ පැවිද්දන් පරිභෝග කරන පරිෂ්කාරයෙකි. “න කඤ්චුකං ධාරෙතබ්බං” යි වදාරා ඇති බැවින් අංසකඩය පොරෝනා පරිෂ්කාරයක් ලෙස මිස කඤ්චුකයක් ලෙස නො මැසිය යුතු ය. කඤ්චුකය යි කියනුයේ බැනියම් කමිස ආදී ඇඟ ලන වස්තූනට ය. එ බන්දක් නොවන සේ අංසකඩය පිළියෙළ කර ගත යුතු ය.
සිවුරු රෙදි:
“අනුජානාමි භික්ඛවෙ, ඡ චීවරානි ඛොමං කප්පාසිකං කොසෙය්‍යං කම්බලං සාණං භංගං” යි සිවුරුවලට රෙදි වර්ග සයක් අනුදැන වදාරා තිබේ. ඛෝම යනු ඒ නම ඇති ගස් වර්ගයක කෙඳිවලින් වියන රෙදි ය. කප්පාසික යනු කපු නූලෙන් වියන රෙදි ය. කෝසෙය්‍ය යනු පට රෙදි ය. කම්බල යනු ලොමින් වියන රෙදි ය. සාණ යනු ඝණ කෙඳිවලින් වියන රෙදි ය. භඞ්ග යනු මිශ්‍ර නූලෙන් වියන රෙදි ය. මේ රෙදි වර්ග සය හා ඒවාට සමාන වෙනත් රෙදි වර්ග ද සිවුරුවලට සුදුසු ය. හිසකේ, පියාපත්, ගස්වල සුඹුලු, සම් ආදියෙන් සිවුරු නො කළ යුතු ය.
සිවුරේ පැහැය
“න භික්ඛවෙ, සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපීතකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බලොහිතකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමඤ්ජිට්ඨකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බකණ්හානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමහාරංගරත්තානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙතබ්බානි.
(මහාවග්ග චීවරක්ඛන්ධක)
මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් සම්පූර්ණයෙන් නිල් පැහැය ඇත්තා වූ ද, කහ පැහැය ඇත්තා වූ ද, රතුපැහැය ඇත්තා වූ ද, මදටිය පැහැය ඇත්තා වූ ද, කළු පැහැය ඇත්තා වූ ද, පත්තෑයන් ගේ පිටේ පැහැය ඇත්තා වූ ද, ඉදුණු කොළවල පැහැය ඇත්තා වූ ද, සිවුර නො දැරිය යුතු ය. අකැප පැහැයවල් ඇති සිවුරු ලදහොත් සෝදා ඒ පැහැයවල් වෙන් කොට නියම පැහැය ඇති පඬුපොවා ගත යුතු ය. පාට ඉවත් කළ නොහැකි නම් ඇතිරිලි ආදිය සඳහා යෙදිය යුතු ය. තථාගතයන් වහන්සේ විසින් සම්පූර්ණ නිල් කහ ආදි වර්ණයන් ප්‍රතික්ෂේප කර තිබීමෙන් පෙනෙන්නේ සිවුරේ පැහැය මිශ්‍ර වර්ණයක් විය යුතු බව ය. නුග පොතු තම්බා පෙවූ කල්හි ඇති වන පැහැය සිවුරේ නියම පැහැය විය යුතු ය. එය කළු රතු කහ යන පාට තුන මිශ්‍ර වී ඇති කසට පැහැය ය.
ලෝකයෙහි ඇති නොයෙක් වර්ණයන් අතුරෙන් මේ කසට පැහැය ම සිවුරට ගෙන ඇත්තේ එහි අනුසස් සලකා ගෙන ය. සුදුපැහැය ඇති සිවුරු පරිභෝග කරතහොත් එය ඉතා ඉක්මනින් කිලිටි වන බැවින් නිතර සෝදන්නට වීමේ පළිබෝධය හා අලුත් වස්ත්‍ර සොයන්නට වීමේ පළිබෝධය ඇති වන්නේ ය. ඒ පළිබෝධය නැති බව මේ කසට පැහැයෙහි එක් අනුසයෙකි. වරක් පෙවූ කල්හි බොහෝ කල් පවත්නා වූ මේ පැහැයෙහි නිතර පඬු පෙවීමේ පළිබෝධය නැති බව එක් අනුසසෙකි. සිවුර ලස්සනය කියා තණ්හාමානාදි කෙලෙස් නූපදනා බව එක් අනුසසෙකි. දුරට නො පෙනෙන බැවින් අන්තරාය අඩු බව එක් අනුසසෙකි. මෙය මදුරුවන්ට අප්‍රිය වර්ණයෙකි. එබැවින් සිවුරට මදුරුවන් පැමිණෙනවා අඩු ය. එය කසට පැහැයේ එක් අනුසසෙකි. මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් මේ කසට පැහැය පැවිද්දන්ට ඉතා යෝග්‍ය පැහැය වන්නේ ය.
පඬු වර්ග
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී භික්ෂූහු ගොම හා රතු මැටි දියකර සිවුරුවලට පෙවූ හ. සිවුරු දුර්වර්ණ විය. ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ කල්හි “අනුජානාමි භික්ඛවෙ, ඡ රජනානි මූලරජනං ඛන්ධරජනං තචරජනං පත්තරජනං පුප්ඵරජනං ඵලරජනං” යි මුල් ය - කඳ ය - පොතු ය - කොළ ය - මල් ය - ගෙඩි ය යන මේ සය වර්ගය පඬු පිණිස ගැනීමට අනුදැන වදාළ සේක. මෙසේ පඬු ජාති සයක් අනුදැන වදාළ මුත් නො ගත යුතුය කියා කිසිවක් ප්‍රතික්ෂේප නොකළ සේක. එ බැවින් සුදුසු පැහැය ඇති තවත් ජාති ද ඒවාට අනුලෝම වශයෙන් ගැනීම සුදුසු විය යුතුය. මුල් ආදියෙහි ද යෝග්‍ය වර්ණයක් නැති ඒවා නොගත යුතු ය. එබැවින් “හලිද්දිං ඨපෙත්වා සබ්බං මූලරජනං වට්ටති” යි කහ හැර සියලු මුල් සුදුසු බවත් “මඤ්ජිට්ඨකංච තුංගහාරකඤ්ච ඨපෙත්වා සබ්බං ඛන්ධරජනං වට්ටති” පතඟි හා ටිඟොල් නමැති ගස් වර්ගත් නුසුදුසු බවත් “ලොද්දංච කණ්ඩුලංච ඨපෙත්වා සබ්බං තචරජනං වට්ටති” යි ලොත් හා කඩොල් පොතු හැර සියලු පොතු සුදුසු බව ද “අල්ලි පත්තඤ්ච නිල්ලිපත්තඤ්ච ඨපෙත්වා සබ්බං පත්තරජනං වට්ටති” යි සිහින් කසාපත් හා බෙරුපත් හැර ඉතිරි සියල්ල සුදුසු බව ද, කිංසුකපුප්ඵඤ්ච කුසුම්භපුප්ඵඤ්ච ඨපෙත්වා සබ්බං පුප්ඵරජනං වට්ඨති” යි වණුක් මල් හා කෑලමල් හැර සියලු මල් සුදුසු බව ද, ගෙඩි ජාති සියල්ලම සුදුසු බව ද විනය අටුවාවෙහි දක්වා තිබේ. සුවඳ ද්‍රව්‍ය කැඳ ආදිය පඬුවලට මිශ්‍ර නො කළ යුතු ය.
“අනුජානාමි භික්ඛවෙ, ද්වේ කායබන්ධනානි පට්ටිකං සූකරන්තකන්ති” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් කායබන්ධන දෙකක් අනුදැන වදාරා තිබේ. එහි පට්ටික යනු ඇතුළත කුහරයක් නොසිටින සේ වියන ලද පටිය ය. සූකරන්තක යනු කුහරයක් ඇති කෝෂයක් බඳු පටිය ය. මට්ටමට වියන ලද්දා වූ ද, මසුන් ගේ කටු පෙළ මෙන් වියන ලද්දා වූ ද, පටිය පමණක් සුදුසු ය. විචිත්‍ර කොට වියන ලද්ද නුසුදුසු ය. “න භික්ඛවේ, අකායබන්ධනෙන ගාමො පවිසිතබ්බො” යි වදාරා ඇති බැවින් පටියක් නො බැඳ ගම් වැදීම නො කළ යුතුය. අමතක වී ගියේ නම් සිහි වූ තැනෙක දී බැඳ ගත යුතු ය.
දන් වැළඳීම සම්බන්ධයෙන් පනවා වදාළ සේඛියා සික පද තිසක් ඇත්තේ ය. ඒවා මෙසේ ය: -
1. සක්කච්චං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණියා.
සිහියෙන් යුක්තව ආහාර පිළිගැනීම කළ යුතු ය. අහක දමන්නට ගන්නාක් මෙන් තමා වළඳන්නා වූ ද, නො වළඳන්නා වූ ද, සෑම දෙය ම බෙදන තරමක් බෙදන්නට හැර බලා සිටීම නො කළ යුතු ය.
2. පත්තසඤ්ඤි පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණියා.
පාත්‍රයට යොමු කළ සිත් ඇති ව ආහාර පිළිගත යුතු ය. පාත්‍රය හැර අන් බඳුනක වළඳනවා නම් එයට සිත යොමු කොට ආහාර පිළිගත යුතු ය. වට පිට බලමින් නො සැළකිල්ලෙන් ආහාර පිළිගැනීම නො කළ යුතු ය.
3. සමසූපකං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණියා.
බතට සෑහෙන පමණට සූප පිළිගත යුතු ය. මේ සිකපදයෙහි “සූපයයි” දැක්වෙන්නේ මුං, මෑ, කඩල, පරිප්පු ආදි ඇට වර්ගවලින් පිසූ අතින් ගත හැකි තරමට ඝන වූ ව්‍යඤ්ජනයට ය. ඒ සූපය පිළිගත යුත්තේ බතින් සතරෙන් කොටසක් පමණකි. අධික ව පිළිගැනීමෙන් ඇවැත් වේ. සූපයෙන් අන්‍ය වූ ව්‍යඤ්ජන කැමති පමණක් පිළිගත හැකි ය. නෑයන් ගෙන් හා කැපකරුවන් ගෙන් ද අධික ව පිළිගැනීමෙන් ඇවැත් නො වේ. අනිකකු උදෙසා පිළිගැනීමෙන් ද තමා ගේ ධනයෙන් ගැනීමෙන් ද ඇවැත් නො වේ.
4. සමතිත්තිකං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණියා.
පාත්‍ර ගැටියේ යටිපැත්තේ මට්ටමට පමණක් ආහාර පිළිගත යුතු ය. ගැටියෙන් උඩට සිටිනා සේ පිළිගැනීමෙන් ඇවැත් වේ. පිළිගන්නා කල්හි පාත්‍ර ගැටියෙන් උඩට සිටියේ ද සම කළ කල්හි ඒ උඩට තුබූ ආහාරය යටට බසී නම් පිළිගැනීමෙන් වරදක් නැත. මේ සික පදය පනවා ඇත්තේ අධිෂ්ඨානයට යෝග්‍ය පාත්‍රය ගැන ය. අධිෂ්ඨානයට ප්‍රමාණ නොවන කුඩාපාත්‍රයක හෝ අන් බඳුනක හෝ ආහාර පිළිගැනීමේ දී ගැටියෙන් උඩට සිටිනා සේ පිළිගැනීමෙන් ඇවැත් නොවේ. කොළයක හෝ අන් බඳුනක බහා පාත්‍රයේ බතට උඩින් තබා දෙන දෙය ගැටියට උඩින් සිටිනා සේ පිළිගත හැකිය.
සාමණේර පැවිද්දන්ට ඇවැත් නැත. ඇවැත් සිදු වන්නේ උපසම්පදා භික්ෂූන්ට ය. මේ සේඛියා සික පද වලින් ඇවැත් වීම කියන සෑම තැන ම සාමණේරයන් දඬුවම් ලැබිය යුතු බව දත යුතු ය.
5. සක්කච්චං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
සිහියෙන් යුක්ත ව ආහාරය ගැන සැලකිල්ලක් ඇති ව ආහාර වැළඳීම කළ යුතු ය. වුවමනාවක් නැතුවක් මෙන් ක්‍රීඩාවක් මෙන් නොසැලකිල්ලෙන් ආහාර වැළඳීම නො කළ යුතු ය.
6. පත්තසඤ්ඤි පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
පාත්‍රයට යොමු කළ සිත් ඇති ව ආහාර වැළඳිය යුතු ය. අනාදරයෙන් වට පිට බලමින් ආහාර වැළඳීමෙන් ඇවැත් වේ.
7. සපදානං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
ආහාර බඳුනෙහි තැනිත් තැනින් නො වළඳා පිළිවෙළින් වැළඳිය යුතු ය. තැනින් තැන බෙදා ඇති ව්‍යඤ්ජනාදිය ගෙන වැළඳීමෙන් ඇවැත් නැත.
8. සමසූපකං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
බතට සෑහෙන පමණට සූපයන් වැළඳිය යුතු ය. අනාදරයෙන් සූපය ම බොහෝ කොට වැළඳීමෙන් ඇවැත් වේ. ආහාර වැළඳීමට අපහසු රෝගීන්ට රිසි සේ වැළඳීමෙන් ඇවැත් නො වේ.
9. න ථූපතො ඔමද්දිත්වා පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
මුදුනෙන් අනා ආහාර වැළඳීම නො කළ යුතු ය. එක් කොනක පටන් වැළඳිය යුතු ය. ආහාර ස්වල්පයක් ඉතිරි වූ පසු සියල්ල එක් කොට අනා වැළඳීමෙන් ඇවැත් නො වේ.
10. න සූපං වා බ්‍යඤ්ජනං වා ඔදනෙන පටිච්ඡාදෙස්සාමි භීය්‍යොකම්‍යතං උපාදායාති සික්ඛා කරණියා.
සූප හෝ ව්‍යඤ්ජන වැඩියෙන් ලබා ගැනීම සඳහා බතින් නො වැසිය යුතු ය. බෙදූ අය වසා බෙදා ඇති කල්හි වැළඳීමෙන් වරද නැත.
11. න සූපං වා ඔදනං වා අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
නොගිලන් වූවකු විසින් බත් හෝ ව්‍යඤ්ජන හෝ ඉල්ලා වැළඳීම නො කළ යුතුය. අනෙකකු ගේ ප්‍රයෝජනය පිණිස ඉල්ලීමෙන් ඇවැත් නොවේ. නෑයන් ගෙන් කැප කරුවන් ගෙන් ඉල්ලීමෙන් ද ඇවැත් නො වේ. තමා ගේ ධනයෙන් පිළියෙළ කළ දෙය ඉල්ලා වැළඳීමෙන් ද ඇවැත් නොවේ. “දානශාලාවලදී අසවල් ව්‍යඤ්ජනය ගෙනෙන්න ය, අසවල් දෙය දෙන්න ය” කියා ගිහියන්ගෙන් ඉල්ලීම ඉතා අශෝභන ය. එ බැවින් ගිහියන් දෙන දෙයකින් පමණක් සතුටු වන්නට පුරුදු විය යුතු ය.
12. න උජ්ඣානසඤ්ඤි පරෙසං පත්තං ඔලොකෙස්සාමීති සික්ඛා කරණියා.
අවමන් කිරීමේ අදහසින් අනුන්ගේ පාත්‍රය නො බැලිය යුතු ය. අඩුවක් ඇති නම් දීම පිණිස හෝ දෙවීම පිණිස බැලීමෙන් ඇවැත් නො වේ.
13. නාතිමහන්තං කබලං කරිස්සාමීති සික්ඛා කරණියා.
බත්පිඬු මහත් කොට ගෙන වැළඳීම නො කළ යුතු ය. “මයූරණ්ඩං අතිමහන්තං කුක්කුටණ්ඩං අතිඛුද්දකං තෙසං වෙමජ්ඣප්පමාණො.” මොනර බිත්තරය ඉතා මහත් ය. කකුළු බිත්තරය ඉතා කුඩාය, ඒ දෙකට අතර සිටිනා බත් පිඬ ප්‍රමාණවත්ය යි විනය අටුවාවෙහි දැක්වේ. එබැවින් මධ්‍යම ප්‍රමාණයට බත් පිඬු කොට ගෙන වැළඳිය යුතු ය.
14. පරිමණ්ඩලං ආලොපං කරිස්සාමීති සික්ඛා කරණියා.
හාත්පසින් වට කොට බත් පිඬු තනා වැළඳිය යුතු ය. දික් කොට බත් පිඬු තනා නො වැළඳිය යුතු ය. අමතක වීමකින් නො මනා ලෙස පිඩු කිරීමෙන් ඇවැත් නො වේ. නොසැලකිල්ල නිසා කළ හොත් ඇවැත් වේ.
15. න අනාහටෙ කබලෙ මුඛද්වාරං විවරිස්සාමීති සික්ඛා කරණියා.
බත් පිඬ මුව වෙතට ගෙන යන්නට කලින් කට නො හැරිය යුතුය.
16. න භුඤ්ජමානො සබ්බං හත්ථං මුඛෙ පක්ඛිපිස්සාමීති සික්ඛා කරණියා.
වළඳන කල්හි සම්පූර්ණ අත මුව තුළට නො යැවිය යුතු ය.
17. න සකබලෙන මුඛෙන බ්‍යාහරිස්සාමීති සික්ඛා කරණියා.
ආහාර මුව තුළ තිබිය දී කථා නො කළ යුතුය. මේ සිකපදයෙන් වරද වන්නේ වචන සම්පූර්ණ කොට නො කිය හැකි වන තරමට මුව තුළ ආහාර තිබිය දී කථා කිරීමෙනි. කථා කිරීමේ දී එයට බාධාවක් නොවන තරමට ස්වල්පයක් ආහාර තිබිය දී කථා කිරීමෙන් වරද නැත.
18. න පිණ්ඩුක්ඛෙපකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
ආහාරය මුව තුළට වීසි කරමින් වැළඳීම නො කළ යුතු ය.
19. න කබලාවච්ඡේදකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
බත් පිඩ මුවින් කඩ කඩා නො වැළඳිය යුතු ය. කැවිලි පලතුරු ආදිය එසේ වැළඳීමෙන් ඇවැත් නො වේ.
20. න අවගන්ඩකාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
වඳුරන් මෙන් ආහාර හක්කේ තබා ගෙන නො වැළඳිය යුතු ය. පලතුරු එසේ වැළඳීමෙන් ඇවැත් නො වේ.
21. න හත්ථනිඩූනකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
අත ගසා දමමින් ආහාර වැළඳීම නො කළ යුතු ය. කුණු රොඩු ඉවත ලීම පිණිස අත ගසා දැමීමෙන් ඇවැත් නො වේ.
22. න සිත්ථාවකාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
බත් හුළු විසුරුවමින් ආහාර වැළඳීම නො කළ යුතුය. එක බත් හුළකුදු වළඳන තැන නො වැටෙන ලෙස පිරිසිදු ලෙස වැළඳීම පැවිද්දන් විසින් පුරුදු කර ගත යුතු ය. කුණු කසන ඉවත් කිරීමේ දී බත් හුළු බිම වැටීමෙන් ඇවැත් නො වේ.
23. න ජිව්හානිච්ඡාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
දිව එළියට දම දමා ආහාර නොවැළඳිය යුතු ය.
24. න චපුචපුකාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා
තලු ගස ගසා ආහාර නොවැළඳිය යුතුය.
25. න සුරුසුරු කාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
සුරුසුරු යන හඬ නඟමින් ආහාර වැළඳීම නොකළ යුතු ය. සමහරුන් කිරි - කැඳ ආදි දේවල් වළඳන කල්හි එ බඳු හඬක් ඇති වන පරිදි උර උරා වළඳති. එසේ නො කළ යුතුය.
26. න හත්ථනිල්ලේහකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
අත ලෙව ලෙවා ආහාර වැළඳීම නොකළ යුතුය. එය බලා සිටින්නවුන්ට අප්‍රිය දර්ශනයකි.
27. න පත්තනිල්ලේහකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
ඇඟිලිවලින් පාත්‍රය සූරා නොවැළඳිය යුතුය.
28. න ඔට්ඨනිල්ලේභකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණියා.
ආහාර වැළඳීමේ දී දිවෙන් තොල් ලෙවීම නොකළ යුතුය.
29. න සාමිසෙන හත්ථෙන පානීයථාලකං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණියා.
ඉඳුල් තැවරුණ අතින් පැන් බඳුන නොපිළිගත යුතුය. තමා සතු භාජනයක් වුව ද නොගත යුතුය. අතේ කොටසක ඉඳුල් තැවරී තිබිය දී ඉඳුල් නැති තැනකින් ඇල්ලීමෙන් වරද නැත. සේදීම පිණිස ගැනීමෙන් ද ඇවැත් නො වේ. අමතක වීමෙන් හෝ ආපදාවකදී හෝ ගැනුමෙන් ද ඇවැත් නො වේ.
30. න සසිත්ථකං පත්තධොවනං අන්තරඝරේ ඡඩ්ඩෙස්සාමීති සික්ඛා කරණියා.
බත්හුලු සහිත පාත්‍ර සේදූ දිය ඇතුළු ගමෙහි නො දැමිය යුතුය. බත්හුලු දියෙන් ඉවත් කොට හෝ දිය කොට හෝ දැමීමෙන් ඇවැත් නැත. පාත්‍ර සේදූ වතුර දමන භාජනයකට දැමීමෙන් ද ඇවැත් නැත.
මේ සිකපද රකිමින් බලා සිටින්නවුන්ට අප්‍රසාදයක් පිළිකුලක් ඇති නො වන අන්දමට එකට වළඳන භික්ෂූන්ට පිළිකුලක් ඇති නොවන පරිදි ශීලාචාර ලෙස දන් වළඳන්නට පුරුදු කර ගත යුතුය. වතුර, බත් ව්‍යඤ්ජන ආදිය ඉහිරීමෙන් කටු ලෙලි ආදිය දැමීමෙන් වළඳන තැන අපවිත්‍ර නොකළ යුතුය. පමණට වඩා ආහාර නො පිළිගත යුතු ය. හැඳි ගැටෙන හඬ ඇති නො වන පරිදි කිරි ආදිය සෙමින් වැළඳිය යුතුය. අනුන්ට පිළිකුල් වන කෑරීම් සොටු සීරීම් නො කළ යුතුය. අසවල් අසවල් දෙය ගෙනෙන්නටය කියා ඉල්ලීම නො කළ යුතුය.
විහාරයෙන් පිටත ගමෙහි දී පිළිපැදිය යුතු සේඛියා සික පද සූ විස්සක් ඇත්තේ ය. එයින් ‘සුපටිච්ඡන්න’ සික පද දෙක සිවුරු පෙරවීම විස්තර කිරීමට ඇතුළු විය. ඉතිරි සික පද දෙවිස්ස මෙසේය:
1. සුසංවුතො අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
ගමෙහි දී හොඳට සංවර ඇතුව යා යුතුය. සංවර ඇතුව යෑමය කියනුයේ අත් වැනීමක් නො කොට දිවීමක් පැනීමක් නො කොට පියවි ගමනින් යෑමය. පැවිද්දා තැන්පත් ව ශාන්ත ව ගමන් කළ යුතුය. සයිකල් පැදීම, මොටෝරිය පැදවීම පැවිද්දාට අයෝග්‍ය වන්නේ ද එයින් වන අමුතු පාපයක් නිසා නොව මේ සංවරය ඒවා කරන කල්හි නැති වන නිසා ය.
2. සුසංවුතෝ අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
ගමෙහි දී මනා සංවරයෙන් හිඳිය යුතු ය. අත් හෝ පා සොලව සොලවා නො හිඳිය යුතුය.
3. ඔක්ඛිත්තචක්ඛු අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
ගමෙහිදී බිම බලා ගෙන යා යුතුය. වටපිට බල බලා නො යා යුතුය. බිම බැලිය යුත්තේ ද සතර රියනක් පමණක් දුරය. අනතුරු ඇති තැන්වල දී දුර බැලීමෙන් වරද නැත. වටපිට බලමින් යන කල්හි නොයෙක් දේ පෙනීමෙන් බොහෝ කෙලෙස් ඇති විය හැකිය. යම්කිසි කමටහනක් මෙනෙහි කරමින් ගමන් කරන්නට පුරුදු කර ගත යුතුය. “ගතපච්චාගත වත” ගැන දැනීමක් ඇති කර ගත යුතුය. දීර්ඝ වන බැවින් එය මෙහි නො දැක්විය හැකිය.
4. ඔක්ඛිත්තචක්ඛු අන්තරඝරේ නිසීදිස්සාමී ති සික්ඛා කරණියා.
ගමෙහි ගෙවල හිඳීමේ දී ද වටපිට නො බලා බිම බලා ගෙන සිටිය යුතුය. විපතකදී බැලීම වරද නැත.
5. න උක්ඛිත්තකාය අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
පොරවා සිටින සිවුර ඔසවා ගෙන ගමෙහි නොයා යුතු ය. පිඬු සිඟා යන භික්ෂුව විසින් ශරීරය විවෘතව නො පෙනෙන පරිදි පාත්‍රය පිටතට ගැනීම කළ යුතුය. මේ සිකපදයෙන් අදහස් කරන්නේ පටිය හා බඩ පෙනෙන ලෙස තුනටියෙන් උඩට සිවුර එසවීමය යි විමතිවිනෝදනී ටීකාවෙහි කියා තිබේ. එහෙත් තරමක් දුරට වුවද ඔසවා ගෙන යෑම අශෝභන බව කිය යුතුය.
6. න උක්ඛිත්තකාය අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
සිවුර ඔසවා ගෙන ඇතුළුගම්හි නො හිඳිය යුතුය. සිවුරු ගැබ තුළ ඇති දෙයක් පිටතට ගැනීම ශරීරය නො පෙනෙන ලෙස කළ යුතුය.
7. න උජ්ඣග්ගිකාය අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
මහ හඬින් සිනාසෙමින් ඇතුළු ගම්හි නොයා යුතුය. කරුණක් ඇති වුව හොත් මහහඬ නො නඟා සිනාසීමෙන් ඇවැත් නොවේ.
8. න උජ්ඣග්ගිකාය අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
මහත් කොට හඬ නඟා ඇතුළු ගම්හි සිනාසීම නො කළ යුතුය. සිකපද නැත ද විහාරයේ දී ද වෙරිකාරයන් සේ හඬ නඟා සිනාසීම පැවිද්දන්ට නුසුදුසු ය. සිනාවත් පුද්ගල තත්ත්වය දැක්වෙන ලකුණකි. හික්මීමක් ඇති උසස් අදහස් ඇති පුද්ගලයෝ කොතැනකදී වුවද මහත් කොට හඬ නඟා සිනාසීම නො කෙරෙති.
9. අප්පසද්දෝ අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
මහත් කොට හඬ නඟා කථාකරමින් ඇතුළු ගම්හි නොයා යුතුය.
10. අප්පසද්දෝ අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
මහත් කොට හඬ නඟා කථා කරමින් ඇතුළු ගම්හි නො හිඳිය යුතුය. සරියනක් දුරින් ඉන්නා කෙනකුට පැහැදිලි ලෙස ඇසෙන තරම් කථාව ප්‍රමාණවත් ය. ඉන් ඔබ්බටත් පැතිරෙන සේ හඬ නඟා කරන කථාව නුසුදුසු ය. ශාන්ත පැවතුම් ඇති නුවණැති පුද්ගලයෝ මහහඬින් කථා නො කෙරෙති. කථාවත් පුද්ගල තත්ත්වය දැක්වෙන ලකුණකි. අශීලාචාරකම වැඩි වැඩි තරමට ඒ ඒ අයගේ කථාවේ හඬ වැඩි බව පරීක්ෂාවෙන් ලෝකය දෙස බැලුව හොත් දත හැකිය. මේ සිකපද දෙක විහාරයට නැත ද සෑම තැනකදී ම සුදුසු ලෙස කථා කිරීම පැවිද්දන් විසින් පුරුදු කර ගත යුතු ය. ඇතමුන්ගේ කට හඬ උත්පත්තියෙන් ම තද ය. ඒ අය සිහියෙන් යුක්ත වී සෙමින් කථා කිරීමට පුරුදු කර ගත යුතුය. ශීලාචාර මනුෂ්‍යයෝ මහ හඬින් කථා නොකරති. පැවිද්දන් විසින් ද පමණට කථා කිරීම පුරුදු කර ගත යුතුය. හඬ නඟා දහම් දෙසීමෙන් ඇවැත් නැත.
11. න කායප්පචාලකං අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
වෙරිකාරයන් සේ ඒ මේ අතට නැවෙමින් පැද්දෙමින් ඇතුළු ගමෙහි නොයා යුතුය. හිසත් කයත් කෙළින් තබා නිශ්චලව ගමන් කළ යුතුය. නිශ්චලව ගමන් කළ නො හෙන රෝගීන්ට මෙයින් ඇවැත් නැත.
12. න කායප්පචාලකං අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
හිස වනමින් කය ඒ මේ අතට පද්දවමින් ඇතුළු ගම්හි නො හිඳිය යුතුය.
13. න බාහුප්පචාලකං අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
බාහුව සොලවමින් ඇතුළු ගමෙහි නොයා යුතුය.
14. න බාහුප්පචාලකං අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
බාහුව සොලවමින් ඇතුළු ගම්හි නො හිඳිය යුතුය.
15. න සීසප්පචාලකං අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
හිස සල සලා ඇතුළු ගම්හි නො යා යුතුය.
16. න සීසප්පචාලකං අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
හිස සල සලා ඇතුළු ගම්හි නො හිඳිය යුතුය.
17. න ඛම්භකතෝ අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
එක් අතක් හෝ දෙ අත ම හෝ උකුළෙහි තබා ගෙන ඇතුළු ගම්හි නොයා යුතුය.
18. න ඛම්භකතෝ අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
උකුළෙහි අත් ගසා ගෙන ඇතුළු ගම්හි නො හිඳිය යුතු ය.
19. න ඕගුණ්ඨිකෝ අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
හිස වසා පොරොවා ඇතුළු ගම්හි නො යා යුතුය.
20. න ඕගුණ්ඨිකෝ අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
හිස වසා පොරවා ඇතුළු ගම්හි නො හිඳිය යුතු ය. අමතක වීමෙන් කරන්නාහට ද ගිලනාහට ද වාසය කිරීමට ගිය තැනැත්තාහට ද මේ සිකපද දෙකින් ඇවැත් නැත.
21. න උක්කුටිකාය අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණියා.
පතුලේ අග පමණක් හෝ විළුඹ පමණක් හෝ බිම තබමින් ඇතුළු ගම්හි ගමන් නො කළ යුතුය. ආබාධයක් නිසා එසේ කිරීමෙන් ඇවැත් නොවේ.
22. න පල්ලත්ථිකාය අන්තරඝරේ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.
ඇතුළු ගමෙහි දී පල්ලත්ථිකයෙන් නො හිඳිය යුතුය. හත්ථපල්ලත්ථිකය-දුස්සපල්ලත්ථිකය කියා පල්ලත්ථිකය දෙයාකාර වේ. බිම හෝ මිටි අසුනක දෙදණ කෙළින් කර වාඩි වී දණ දෙක දෙපැත්තට නො යනු පිණිස පිටතින් අත් දෙක යවා එකට බැඳ ගැනීම හත්ථපල්ලත්ථික නම් වේ. එය අශෝභන හිඳ ගැනීමකි. මිටි අසුනක හෝ බිම දණහිස් උඩුකුරු කොට කතිර හැඩයට පා දෙක තබා දෙපැත්තට නො යනු පිණිස සිවුරෙන් තද කර ගැනීම දුස්සපල්ලත්ථික නම් වේ. එය දිරූ සිවුරක් නම් ඉරිය හැකි වාඩිවීමකි. ඒ දෙයාකාරයෙන් කවර ආකාරයකින් වුවද ඇතුළු ගම්හි හිඳ ගැනීමෙන් ඇවැත් වේ. අන් ආකාරයකින් වාඩිවීම අපහසු රෝගියකුට නම් ඇවැත් නොවේ.
දහම් දෙසීම පිළිබඳ සේඛියාසිකපද සොළොසක් ඇත්තේ ය. ඒවා මෙසේය:
1. න ඡත්තපාණිස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
කුඩයක් අතින් ගෙන සිටින නො ගිලන් පුද්ගලයාට දහම් නො දෙසිය යුතුය. කුඩය අතින් මුදා ළඟ තබා ගෙන ඉන්නා අයට දහම් දෙසීමෙන් ඇවැත් නැත.
2. න දණ්ඩපාණිස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
දණ්ඩක් අතින් ගෙන සිටින්නා වූ නො ගිලන් පුද්ගලයාට දහම් නො දෙසිය යුතුය. මෙහි දණ්ඩය යි කියනුයේ සතර රියන් පොල්ලට ය. අතින් නො ගෙන දණ්ඩක් සමීපයේ තබා ගෙන ඇති තැනැත්තාට දහම් දෙසීමෙන් ඇවැත් නොවේ.
3. න සත්ථපාණිස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
කඩුවක් අතින් ගෙන සිටින නො ගිලන් පුද්ගලයාට දහම් නො දෙසිය යුතුය. කඩුවක් පැළඳ සිටින්නහුට දහම් දෙසීමෙන් ඇවැත් නැත.
4. න ආයුධපානිස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
දුනු හී තුවක්කු ආදි ආයුධ අතේ ඇති නො ගිලනාට දහම් නො දෙසිය යුතු ය. ආයුධ අතින් නො ගෙන පැලඳ සිටින්නහුට දහම් දෙසීමෙන් ඇවැත් නැත.
5. න පාදුකාරූළ්හස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
මිරිවැඩි පය ලා සිටින්නා වූ නො ගිලනා හට දහම් නො දෙසිය යුතුය. පාදුකා යනු ලීයෙන් සාදා ඇඟිලි කරුවට ඇතුළු කර ගැනීම සඳහා මුදුනෙහි කුඩයක් සහිත ඇණයක් යොදා ඇති පාවහන් වර්ගයකි. ඒ වර්ගය මුස්ලිම් ජනයා ඔවුන්ගේ ගෙවල පාවිච්චි කරනු දක්නා ලැබේ.
6. න උපාහනාරූළ්හස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
වහන් පය ලා සිටින්නා වූ නො ගිලනාට දහම් දෙසීම නො කළ යුතුය. මේ සිකපදය පනවා ඇත්තේ පාදුකාව හැර ඉතිරි පය ලන වර්ග ගැන ය. වහන් පය ලා සිටින්නා වූ ද වහන් පය නො ලා සිටින්නා වූ ද අය ඇති පිරිසක වහන් පය නො ලා සිටින්නවුන් උදෙසා දහම් දෙසීමෙන් ඇවැත් නැත. සැම දෙනා ම උදෙසා දහම් දෙසත හොත් ඇවැත් වේ.
7. න යානගතස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
රියක නැඟී සිටින්නා වූ නො ගිලනා හට දහම් නො දෙසිය යුතුය. දේශකයා ද රියේ නැගී සිටිනවා නම් දහම් දෙසීමෙන් ඇවැත් නොවේ.
8. න සයනගතස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
බිම වුව ද වැතිර සිටින්නා වූ නො ගිලනාට දහම් නො දෙසිය යුතුය.
9. න පල්ලත්ථිකාය නිසින්නස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
පල්ලත්ථියෙක හිඳිනා නොගිලනාට දහම් නො දෙසිය යුතු ය. පල්ලත්ථිකය කලින් විස්තර කර ඇත.
10. න වේඨිතසීසස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
කේශාන්තය නො පෙනෙනා සේ ජටා බැඳ සිටින්නා වූ නො ගිලනාට දහම් නො දෙසිය යුතුය. “යථාකේසන්තෝ න දිස්සති එවං වෙඨිතසීසස්ස” යනු අටුවායි. ශීර්ෂාවරණයක් වශයෙන් නො ව හිස සැරසීමෙක් වශයෙන් කෙස් සියල්ල නො වැසෙන ලෙස බඳනා ලද ජටා ඇතියවුන්ට දහම් දෙසීමෙන් ඇවැත් නැත. බුරුම මිනිසුන් ගේ ජටාව එබන්දකි.
11. න ඕගුණ්ඨිතසීසස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
හිස වසා පොරවා සිටින නො ගිලනාට දහම් නො දෙසිය යුතු ය.
12. න ඡමාය නිසීදිත්වා ආසනේ නිසින්නස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
බිම හිඳ අසුනක ඉන්නා නො ගිලනාට දහම් නො දෙසිය යුතුයි.
13. න නීචේ ආසනේ නිසීදිත්වා උච්චේ ආසනේ නිසින්නස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
මිටි අසුනක හිඳ උස් අසුනක ඉන්නා නො ගිලනාට දහම් නො දෙසිය යුතුය.
14. න ඨිතො නිසින්නස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
තමා සිට ගෙන, හිඳ ගෙන ඉන්නා නො ගිලනාට දහම් නො දෙසිය යුතුය.
15. න පච්ඡතො ගච්ඡන්තෝ පරතෝ ගච්ඡන්තස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
පස්සෙන් යමින් ඉදිරියෙහි යන නො ගිලනාට දහම් නො දෙසිය යුතුය.
16. න උප්පථෙන ගච්ඡන්තෝ පථෙන ගච්ඡන්තස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණියා.
නො මඟින් යමින් මගින් යන නොගිලනාහට දහම් නො දෙසිය යුතු.
1. ඨිතෝ අගිලානෝ උච්චාරං වා පස්සාවං වා කරිස්සාමීති සික්ඛා කරණියා.
ගිලන් බවක් නැති තැනැත්තා විසින් සිට ගෙන මලමුත්‍ර නො කළ යුතු ය. මෙහි අදහස් කරන ගිලන් බව වාඩිවීමට අපහසු බව ය. වාඩිවී මුත්‍ර කරන කල්හි සමහරුන්ගෙන් සම්පූර්ණයෙන් මුත්‍ර පිට නො වේ. එයත් එක්තරා ආබාධයෙකි. එබඳු තැනැත්තාට ද සිට ගෙන මුත්‍ර කිරීමෙන් ඇවැත් නැත.
2. න හරිතේ අගිලානෝ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරිස්සාමීති සික්ඛා කරණියා.
නො මළ තණ ආදිය මතුයෙහි මලමුත්‍ර නොකළ යුතුය. කෙළ ගැසීම නො කළ යුතුය. ජීවත් වන ගසක මතු වී ඇති මුලක් උඩ වුවද කෙළ ගැසීම් ආදිය නොකළ යුතුය. සෙම් සොටු දැමීම ද කෙළ ගැසීමට ඇතුළත් බව සැලකිය යුතුය. තණ ආදිය නැති තැනක කළ මුත්‍ර පසු ව තණ ආදියට ගලා ගියේ ද ඇවැත් නො වේ. ජීවත් වන ගසක මුලක් මත වාඩි වී බිමට මල මුත්‍ර කිරීමෙන් ඇවැත් නැත.
3. න උදකේ අගිලානෝ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරිස්සාමීති සික්ඛා කරණියා.
ගිලනකු නො වී පරිභෝගයට සුදුසු ජලයෙහි මල මුත්‍ර නො කළ යුතුය. කෙළ ගැසීම නො කළ යුතුය. පරිභෝගයට සුදුසු නො වන සමුද්‍ර ජලාදියෙහි කෙළ ගැසීම් ආදියෙන් ඇවැත් නැත. ජලය ගලා සෑම තැන ම යට වී ඇති අවස්ථාවෙහි ද ඇවැත් නැත.
මෙතෙකින් විස්තර කළ සේඛියා සිකපද පන් සැත්තෑව භික්ෂු ප්‍රාතිමෝක්ෂයෙහි එන පිළිවෙළ මෙසේ ය:
මෙය පාඩම් කර ගත යුතුය.
පරිමණ්ඩලවග්ගෝ පඨමෝ.
උජ්ඣග්ගිකවග්ගෝ දුතියෝ
ඛම්භකතවග්ගෝ තතියෝ
සක්කච්ච වග්ගෝ චතුත්ථෝ
කබලවග්ගෝ පඤ්චමෝ
සුරුසුරු වග්ගෝ ජට්ඨෝ
පාදුකවග්ගෝ සත්තමෝ
වත් පිරීමත් පැවිද්දන්ගේ ශීලයේ කොටසකි. ආචාර්යෝපාධ්‍යාය සද්ධිවිහාරික අන්තේවාසික සෑම දෙනා විසින් ම පිරිය යුතු වත් ඇත්තේ ය. මහ තෙරුන් වහන්සේගේ පටන් එදින ම පැවිද්ද ලත් සාමණේර නම දක්වා ඇති සෑම දෙනා විසින් තම තමන් අයත් වත් සම්පූර්ණ කළයුතු ය.
“වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති,
අසුද්ධසීලෝ දුප්පඤ්ඤෝ චිත්තේකග්ගං න වින්දති.
-
වික්ඛිත්තචිත්තෝ නේකග්ගෝ සද්ධම්මං න ච පස්සති
අපස්සමානෝ සද්ධම්මං දුක්ඛා න පරිමුඤ්චති.”
(විනය විනිච්ඡය වත්තක්ඛන්ධක)
“වත් සම්පූර්ණ නො කරන තැනැත්තේ ශීලය සම්පූර්ණ නො කෙරේ. ශීල ශුද්ධිය නැති නුවණ නැති තැනැත්තේ සිතේ එකඟ බවක් නො ලබයි. වික්ෂිප්ත වූ එකඟ නො වූ සිත් ඇත්තේ ධර්මය නො දකී. ධර්මය නො දක්නේ දුකෙන් නො මිදේ” වත් නො කිරීමෙන් සාමණේරයෝ දඬුවම් ලැබිය යුත්තෝ වෙති. භික්ෂූන්ට දුකුළා ඇවැත් වේ. චූලවග්ග පාළියේ වත්තක්ඛන්ධකයේ වත් තුදුසක් වදාරා තිබේ. ඒවා විනය විනිශ්චයෙහි ගාථා දෙකකින් මෙසේ දක්වා තිබේ.
“ආගන්තුකාවාසික පිණ්ඩචාරී - සෙනාසනාරඤ්ඤනුමෝදනාසු
වත්තානි භත්තේ ගමිකස්ස ජන්තා - ඝරේ තථා වච්චකුටිප්පවේසේ
ආචරියුපජ්ඣායක සිස්ස සද්ධි - විහාරි වත්තානි පි සබ්බසෝව,
වත්තානි වුත්තානි චතුද්දසේව - විසුද්ධචිත්තේන විනායකේන.”
වත් තුදුස අමතක නොවීම පිණිස මේ ගාථා පාඩම් කර ගත යුතුය.
ආගන්තුක වතය, ආවාසික වතය, පිණ්ඩචාරික වතය, සේනාසන වතය, ආරඤ්ඤක වතය, අනුමෝදනා වතය, භත්තග්ග වතය, ගමික වතය, ජන්තාඝර වතය, වච්චකුටි වතය, ආචරිය වතය, උපජ්ඣාය වතය, සද්ධිවිහාරික වතය, අන්තේවාසික වතය කියා මෙසේ වත් තුදුසක් ඇත්තේ ය.
කුඩා මහත් වරද සොයා බලා අවවාදානුශාසනයෙන් ගෝලයන් හික්මවන ආචාර්‍ය්‍යවරයා උපාධ්‍යාය නම් වේ. “උපජ්ඣායෝ මෙ භන්තේ හෝහි” යි අයැද උපාධ්‍යායත්වයෙහි තබා ගන්නා ලද ආචාර්‍ය්‍යවරයා හට සද්ධිවිහාරිකයා විසින් දිවිහිමියෙන් වත් කළ යුතුය. උපාධ්‍යායයන් වහන්සේ ගෙන් අවවාදානුශාසනා ලබන ශිෂ්‍යයා සද්ධිවිහාරික නම් වේ. උපාධ්‍යායයන් වහන්සේ කෙරෙහි පිළිපැදිය යුත්තේ මෙසේය: සද්ධිවිහාරිකයා විසින් කලින් නැගිට උපාධ්‍යායයන් වහන්සේ ගේ රුචිය අනුව දැහැටි හා මුවදෝනා පැන් පිළිගැන්විය යුතුය. උපාධ්‍යායයන් වෙසෙන විහාරය හා මිදුල ද වැසිකිළිය ද හැමද පිරිසිදු කළ යුතුය. කැඳ බත් ආදි යමක් ඇති නම් එය උපාධ්‍යායන් වහන්සේට පිරිනැමිය යුතුය. වැළඳූ පසු භාජන සෝදා තැන්පත් කළ යුතුය. වැළඳූ තැන පවිත්‍ර කළ යුතුය. ආසනය තැන්පත් කළ යුතුය. උපාධ්‍යායයන් වහන්සේ පිඬු පිණිස ගමට පිවිසෙනු කැමති නම් පා සිවුරු පිළිගැන්විය යුතුය. උපාධ්‍යායයන් වහන්සේ දෙවැන්නකු කැමැති නම් තමා ද හැඳ පොරවා පාත්‍රය ගෙන උන් වහන්සේ පසු පසින් යා යුතුය. පිඬු සිඟා ගත් පසු තමා පළමුවෙන් විහාරයට පැමිණ පා සිවුරු තබා උපාධ්‍යායන් එන පෙරමගට ගොස් පා සිවුරු පිළිගත යුතුය. පා සේදීම පිණිස පැන් තැබිය යුතුය. අසුන් පැනවිය යුතුය. උපාධ්‍යායයන් අසුන් ගත් කල්හි පැන් හා ආහාර පිළිගැන්විය යුතුය. උපාධ්‍යායයන් වහන්සේගේ වත් කොට තමාට වැළඳීමට කල් තිබේ නම් උපාධ්‍යායයන් වහන්සේ වළඳන තුරු බලා හිඳ පැන් පිළිගන්වා පාත්‍රාදි භාජන සෝදා තැන්පත් කොට තමා වැළඳිය යුතුය. කාලය ඉක්මෙන්නට ළංව ඇත්තේ නම් උපාධ්‍යායයන් හට පැන් හා ආහාර පිළිගන්වා තමා ද වළඳා උපාධ්‍යායයන් වහන්සේගේ වත් කළ යුතුය. උපාධ්‍යායයන් ගේ සිවුරු නමා තැන්පත් කළ යුතු ය. සිවුරු තෙත් වී ඇති නම් වියළා නමා තැබිය යුතුය. උපාධ්‍යායයන් වහන්සේ බැහැර ගොස් විහාරයට පෙරළා එන සෑම අවස්ථාවෙහි ම පෙර ගමන් කොට පා සිවුරු පිළිගත යුතුය. පැන් එළවිය යුතුය. ගිලන්පස ඇති නම් පිළිගැන්විය යුතුය.
උපාධ්‍යායයන් කථා කරන කල්හි එය නිමවන්නට කලින් අතරට කථා නො හෙළිය යුතුය. උපාධ්‍යායයන් ස්නානය කරනු කැමැති නම් උණු පැන් හෝ සිසිල් පැන් සැපයීමට උත්සාහ කළ යුතුය. උපාධ්‍යායයන් පැන් ඇති තැනකට ගොස් ස්නානය කරන්නේ නම් නානකඩ තුවාය ආදි උපකරණ එහි ගෙන යා යුතුය. උපාධ්‍යායයන් කැමති වන්නේ නම් නෑවීම හා ඇඟ ඉලීම ද කළ යුතුය. නෑමෙන් පසු උපාධ්‍යායයන් වහන්සේගේ ජලසාටකාදිය විහාරය ගෙනැවිත් තැන්පත් කොට තැබිය යුතුය.
උපාධ්‍යායයන් වහන්සේගේ සිවුරු සේදිය යුතු ව ඇත්තේ නම්, ඒවා සෝදා වියළා තැන්පත් කළ යුතු ය. උපාධ්‍යායයන් ගේ සිවුරු පඬු පෙවිය යුතු ව ඇත්තේ නම්, එයත් කිරීමට උත්සාහ කළ යුතුය. ඒවා උපාධ්‍යායයන් වහන්සේ ම කරනවා නම් තමාත් උපකාර විය යුතුය.
උපාධ්‍යායයන් වහන්සේගෙන් අවසර නෙ ගෙන උන් වහන්සේට අහිතවත් පුද්ගලයන්ට පාත්‍ර චීවරාදි දෙයක් නොදිය යුතු ය. ඔවුන් දෙන දෙයක් ද නොපිළිගත යුතු ය. ඔවුන්ට වත් නො කළ යුතු ය. ඔවුන් ලවා ද වත් නො කරවා ගත යුතු ය. ඔවුන් හා නො යා යුතුය. තමා විසින් ඔවුන් කැඳවා ගෙන ගමන් නොයා යුතුය. උපාධ්‍යායයන් වහන්සේගෙන් අවසර නො ගෙන පිටත නොයා යුතුය. උපාධ්‍යායයන් වහන්සේ රෝගාතුර වුවහොත් දිවි හිමියෙන් උවටැන් කළ යුතුය.
එක් උපාධ්‍යායය කෙනකුට බොහෝ සද්ධිවිහාරිකයන් ඇති කල්හි සෑම දෙනාහට ම වත් කිරීමට ඉඩක් නැත. එසේ ඇති කල්හි වත් බෙදා ගැනීමෙන් හෝ වාර බෙදා ගැනීමෙන් හෝ වත් කිරීම සුදුසු ය. කෙනකු දෙන්නකු විසින් සම්පූර්ණයෙන් ම උපාධ්‍යායය වත බාර ගෙන කරනවා නම් සෙස්සන්ට වත් නො කිරීමෙන් වරද නැත. නො විචාරා දීම් ගැනීම් ආදිය කිරීමෙන් නිශ්‍රය මුක්තක භික්ෂුවට වරද නැත.
නිශ්රයාචාර්ය්ය - ප්‍රව්‍රජ්‍යාචාර්‍ය්‍ය - උපසම්පදාචාර්‍ය්‍ය - ධර්මාචාර්‍ය්‍ය යි ආචාර්‍ය්‍යයෝ සතර දෙනෙකි. උපාධ්‍යායයන් ගෙන් වෙන් ව වාසය කරන්නවුන් විසින් “ආචරියෝ මෙ භන්තේ හෝහි, ආයස්මතෝ නිස්සාය වච්ඡාමි” යි යාච්ඤා කොට ආචාර්ය්‍යත්වයෙහි තබා ගන්නා ආචාර්ය්‍යවරයා නිශ්‍රයාචාර්‍ය්‍ය නමි. පැවිදි වන කල්හි සරණ සමාදානය කරවන තවත් දත යුතු දේ උගන්වා දෙන ආචාර්ය්‍යවරයා ප්‍රව්‍රජ්‍යාචාර්ය නමි. උපසම්පදා කිරීමේ දී අනුශාසනා කරන කර්ම වාක්‍යය කියන ආචාර්ය්‍යවරයා උපසම්පදාචාර්ය්‍ය නමි. ධර්ම විනය දෙක උගන්වන ආචාර්‍ය්‍යවරයා ධර්මාචාර්‍ය්‍ය නමි. ඒ ඒ ආචාර්‍ය්‍යවරයන් ගේ අන්තේවාසිකයන් විසින් උපාධ්‍යායයන්ට සේ ම ආචාර්‍ය්‍යවරුන්ට ද වත් කළ යුතුය. උපාධ්‍යාය වතය, ආචාර්ය්‍ය වතය යන මේ දෙක්හි වෙනස නාම මාත්‍රය පමණෙකි. උපාධ්‍යායයන්ට කළ යුතු වත “උපජ්ඣායවත්ත” නම් වේ. එයම ආචාර්ය්‍යයන්ට කරන කල්හි “ආචාරිය වත්ත” නම් වේ.
නිශ්‍රයාචාර්ය්‍ය වත ඒ ආචාර්ය්‍යවරයා යටතේ වෙසෙන කාලයේ පමණක් කිරීම ප්‍රමාණවත් ය. ප්‍රව්‍රජ්‍යාචාර්ය්‍ය උපසම්පදා චාර්ය්‍ය ධර්මාචාර්ය්‍ය වරයන්ගේ වත් දිවි හිමියෙන් කළ යුතුය. එහෙත් නොවිචාරා දීම් ගැනීම් ආදියෙන් නිශ්‍රය මුක්ත භික්ෂූන්ට ඇවැත් නො වේ.
යම් කිසි ස්ථවිර කෙනකුගෙන් උපාධ්‍යාය ග්‍රහණය කොට වෙසෙන සාමණේර හෝ උපසම්පන්න ශිෂ්‍යයා “සද්ධිවිහාරික” නම් වේ. යම්කිසි ස්ථවිර කෙනකු ගෙන් නිස ගෙන සිටින තැනැත්තා ද, යම්කිසි භික්ෂුවකගෙන් අවවාදානුශාසනා ලබා පැවිදි වූ තැනැත්තා ද, යම්කිසි භික්ෂුවක් විසින් කර්ම වාක්‍යය කියා උපසම්පදා කළ තැනැත්තා ද, යම්කිසි භික්ෂුවකගෙන් ධර්මය උගත් තැනැත්තා ද ‘අන්තේවාසික’ නම් වේ. ඔවුන් ගෙන් පළමුවැන්නා ‘නිශ්‍රයාන්තේවාසික’ නමි. දෙවැන්නා ‘ප්‍රව්‍රජ්‍යාන්තේවාසික’ නමි. තුන්වැන්නා ‘උපසම්පදාන්තේවාසික’ නමි. සතර වැන්නා ‘ධර්මාන්තේවාසික’ නමි. උපාධ්‍යායයන් කෙරෙහි හා ආචාර්‍ය්‍යයන් කෙරෙහි සිදු කළයුතු වත් කොටසක් සද්ධිවිහාරිකාන්තේවාසිකයන් හට ඇතුවාක් මෙන් සද්ධිවිහාරිකයන් කෙරෙහි හා අන්තේවාසිකයන් කෙරෙහි සිදු කළ යුතු වත් කොටසක් උපාධ්‍යායයන්ට හා ආචාර්‍ය්‍යයන්ට ද ඇත්තේ ය. උපාධ්‍යායයා විසින් ශිෂ්‍යයාට කළ යුතු වත ‘සද්ධිවිහාරික වත්ත’ නම් වේ. ආචාර්යවරයා විසින් ශිෂ්‍යයාට කළ යුතු වත ‘අන්තේවාසික වත්ත’ නම් වේ. මේවාට ආචාර්ය්‍යෝපාධ්‍යායයන් අයත් යුතුකම් ය යි කිව ද වරද නැත. ඒවා ඉටු නොකිරීමෙන් ආචාර්ය්‍යෝපාධ්‍යයාන්ට ඇවැත් වේ.
ආචාර්ය්‍යෝපාධ්‍යාය වත් මෙසේ ය: ආචාර්ය්‍යෝපාධ්‍යයන් විසින් සද්ධිවිහාරිකාන්තේවාසිකයන්ට ධර්ම විනය පාඩම් කරවීමෙන් ද ඒවායේ අර්ථ - අදහස් කියා දීමෙන් ද වරද කළ කල්හි අවවාද කිරීමෙන් ද, වරදට නො පැමිණෙන ලෙස අනුශාසනා කිරීමෙන් ද අනුග්‍රහ කළ යුතුය. ශිෂ්‍යයා හට පාත්‍රචීවරාදි පරිෂ්කාරයන් ගෙන් යමක් නැති නම් ආචාර්ය්‍යවරයා වෙත ඇති නම් ඒවා ශිෂ්‍යයාට දිය යුතුය. තමන් වෙත නැති නම් ලබා දීමට උත්සාහ කළ යුතුය. අතවැසියාට බුදුසස්න ගැන හෝ පැවිද්ද ගැන හෝ කලකිරීමක් ඇති වුව හොත් කරුණු පහදා දීමෙන් එය දුරු කළ යුතු ය. තමා එයට නොසමත් නම් අනිකකු ලවා හෝ එය දුරු කරවිය යුතුය. යම්කිසි කරුණක් ගැන සැකයක් ඇති වුව හොත් එය දුරු කළ යුතු ය. ඉදින් අතවැසියාට යම් කිසි දෘෂ්ටියක් ඇති වුව හොත් එය දුරු කළ යුතු ය. අතවැසියාට දහම් දෙසිය යුතු ය. සිවුරු කැපීම - මැසීම - පඬු පෙවීම - සේදීම යනාදිය කරන සැටි අතවැසියන්ට උගැන්විය යුතු ය. අතවැසියා ගිලන් වුව හොත් උපස්ථාන කළ යුතු ය. ගිලන් බවින් අතවැසියා නැගිටුවා ගැනීමට සෑම උත්සාහයක් ම කළ යුතු ය. ගිලන් වූ අතවැසියාට දැහැටි දීම් මුවදෝනා පැන් දීම් ආදි සියල්ල ආචාර්යෝපාධ්‍යායන් විසින් කළ යුතු ය.
ආගන්තුක වත
‘ආගන්තුක වතය’ යනු ආගන්තුකයකු වශයෙන් අන් අරමකට ගිය කල්හි පිළිපැදිය යුතු ආකාරය ය. අන් අරමකට යන ආගන්තුකයා විසින් අරමට පිවිසීමට කලින් වහන් පය ලා ඇති නම් ඒවා ඉවත් කර ගෙන, කුඩ ඉසලා ඇති නම් එය අකුලා ගෙන හිස වසා පොරවා ඇති නම් එය ඉවත් කරගෙන සන්සුන්ව අරමට ඇතුළු විය යුතුය. අරමෙහි ආවාසික භික්ෂූන් රැස්වන තැනට ගොස් සුදුසු තැන්වල පා සිවුරු තැබිය යුතුය. බොන පැන් පරිභෝග පැන් ඇති තැන් විචාළ යුතුය. වැසිකිළි කැසිකිළි ඇති තැන් විචාරා දත යුතුය. පිඬු පිණිස යා යුතු තැනක් නම් යා යුතු නො යා යුතු තැන් විචාරා දත යුතු ය. වැඩිමහළු ආවාසික භික්ෂූන්ට අභිවාදනය කළ යුතුය. ආවාසිකයන් ගේ අභිවාදන පිළිගත යුතු ය. සෙනසුනක් ලද කල්හි එය කලින් අනිකකු විසූ තැනක් ද නො විසූ තැනක් ද යන වග විමසිය යුතුය. අනිකකු නො විසූ තැනක් නම් පරීක්‍ෂා කොට එහි ඇතුළු විය යුතු ය. ඉදින් ලද තැන අපවිත්‍ර වී ඇති නම් හැමද පිරිසිදු කළ යුතු ය. මිදුල්වල කසළ ඇති නම් හැමද පිරිසිදු කළ යුතු ය. වැසිකිළිය අපවිත්‍ර නම් හැමද පිරිසිදු කළ යුතු ය. එහි වතුර නැති නම් තැබිය යුතු ය.
ආගන්තුකයකු පැමිණි කල්හි ආවාසිකයන් විසින් කළ යුතු වත ‘ආවාසික වතය’. ආගන්තුකයන්ට කරන බැවින් එයට ‘ආගන්තුක වතය’ යි ද කියති. වැඩි මහලු ආගන්තුකයකු එනු දුටු කල්හි ආවාසිකයා විසින් හුනස්සෙන් නැගිට පෙර ගමන් කොට පා සිවුරු පිළිගෙන සුදුසු තැන්වල තැබිය යුතු ය. අසුන් පැනවිය යුතු ය. පා දෙවීම, මුව දෙවීම, පිණිස පැන් එළවිය යුතු ය. වැඩි මහලු ආගන්තුකයාට වැඳිය යුතු ය. පවන් සැලිය යුතු ය. දැහැත් ගිලන්පස ඇති නම් පිළිගැන්විය යුතු ය. නැති නම් බීමට පැන් හෝ පිළිගැන්විය යුතු ය. ආගන්තුකයාට පිවිසීමට සෙනසුනක් දිය යුතු ය. එය කලින් අනිකකු විසූ තැනක් ද නැත ද යන බව දැන්විය යුතුය. වැසිකිළි කෙසකිළි ඇති තැන් කිය යුතු ය. පැන් ඇති තැන් කිය යුතුය. පිඬු පිණිස ගමට යා යුතු තැන් නොයා යුතු තැන් කිය යුතුය. ආගන්තුකයා නවකයෙක් වේ නම් ආවාසිකයා විසින් ඔහුගේ වැඳීම පිළිගත යුතුය. වැඩිමහලු ආවාසිකයා නවක ආගන්තුකයා හට තමාගේ අසුනෙහි හිඳ ගෙන පා සිවුරු තැබිය යුතු තැන් පැන් ඇති තැන් ආදිය කිය යුතු ය. අන් වැඩක යෙදී සිටින්නා වූ ද ආවාසිකයා ඒ වැඩේ නවත්වා ආගන්තුක සත්කාරය කළ යුතුය.
යම්කිසි සෙනසුනක වාසය කොට එයින් යන තැනැත්තා විසින් පිළිපැදිය යුතු ආකාරය ගමික වතය. යම්කිසි සෙනසුනක වැස එය හැර යන පැවිද්දා විසින් සෙනසුනත් එයට අයත් බඩුත් විනාශ වන පරිදි නො සලකා හැර දමා නො යා යුතුය. කාමරයක හෝ ආවාසයක වැස යන පැවිද්දා විසින් කුණු කසල ඉවත් කොට බඩු නො නැසෙන ලෙස තැන්පත් කොට ජනෙල් දොරවල් වසා භික්ෂුවකට හෝ භික්ෂුවක් නැති නම් සාමණේරයකුට හෝ සාමණේරයකුත් නැති නම් ආරාමික ගිහියකුට හෝ සෙනසුන භාර කොට යා යුතු ය. භාර කිරීමට කිසිවකු නැති නම් පරෙස්සම් වන ලෙස බඩු තැන්පත් කොට දොර ජනෙල් වසා තබා යා යුතුය. ආවාසය තෙමෙනවා නම් තමාට සෙවිලි කළ හැකි නම් එසේ කළ යුතුය. සෙවිලි කිරීමට උත්සාහ කළ යුතුය. එය නොකළ හැකි නම් නො තෙමෙන තැනක බඩු තැන්පත් කොට යා යුතුය. ගෙයි සෑම තැන ම තෙමෙනවා නම් එහි බඩු ගමෙහි යම්කිසි තැනක තැබිය යුතුය. එසේ ද නො කළ හැකි නම් එළිමහනේ යම් කිසි තැනක වේයන් නො නඟින ලෙස උඩින් වසා තබා යා යුතුය.
මිනිසුන් භික්ෂූන්ට දන් දෙන ස්ථානවල පිළිපැදිය යුතු ආකාරය භත්තග්ග වතය. දන් දෙන තැනට යෑමට කාලය දැන්වූ කල්හි තෙමඬුලු වසා පරිමඬුලු කොට අඳනය හැඳ පටිය බැඳ ගුණ කොට සිවුරු පොරවා ගණ්ඨිය දමා පාත්‍රය සොයා ගෙන සේඛියාවෙහි එන සිකපද නො බිඳ වැඩිමහලු පිළිවෙළින් සන්සුන් ලෙස ගමෙහි යා යුතුය. වැඩිමහල්ලන් ඉදිරියෙන් නො යා යුතුය. දන් සැලේ හිඳ ගන්නා කල්හි ස්ථවිරභික්ෂූන්ට වඩා ළං නො වී නවක භික්ෂූන්ට බාධා නො වන පරිදි සේඛියා වත් නො බිඳ හිඳ ගත යුතු ය. දන් පිළිගන්නා කල්හි ද වළඳන කල්හි ද සේඛියා වත් නො බිඳිය යුතුය.
හිඳ ගැනීමේ දී සංඝස්ථවිරයන් වහන්සේ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. මහතෙරුන් වහන්සේට හා අන්‍යයන්ට ඇති ආසන සමාන නම් මහතෙරුන් වහන්සේ ළඟින් අසුනක් දෙකක් හැර සෙස්සන් වාඩිවිය යුතු ය. එසේ හැරීමට ඉඩ නැති කල්හි සංඝ ස්ථවිරයන්ගෙන් අවසර ගෙන වාඩිවිය යුතුය. මහ තෙරුන් වහන්සේ විසින් තැනේ සැටියට පිළිපැදිය යුතුය. සෑම දෙනාට ම දන් පිළිගන්වා අවසාන වන තුරු මහතෙරුන් වහන්සේ විසින් නො වැළඳිය යුතුය. දන්සැලෙන් පිටවන කල්හි මහතෙරුන් වහන්සේ දුර සිටිත් නම් නවකයන් පළමුවෙන් නික්මිය යුතුය. එහෙත් මඟට බැස යන කල්හි වැඩිමහලු පිළිවෙළින් යා යුතුය.
දන් වළඳා අවසානයෙහි නිකම් ම නැඟිට නො යා යුතුය. ‘අනුජානාමි භික්ඛවේ, භත්තග්ගෙ අනුමෝදිතුං’ යි වදාරා ඇති පරිදි දන් දුන් අයගේ සිත් සතුටු වනු පිණිස වළඳා අවසානයේ දී දන් දුන් සැදැහැවතුන්ට අනුමෙවෙනි බණක් කිය යුතුය.
“අනුජානාමි භික්ඛවේ, ථෙරේන භික්ඛුනා භත්තග්ගේ අනුමෝදිතුං” යි වදාරා ඇති බැවින් සංඝස්ථවිරයන් වහන්සේ විසින් පිරිසට අනුමෝදනා බණ කිය යුතු ය. සංඝස්ථවිරයන් වහන්සේ නවකයකු ලවා අනුමෝදනාව කරවනු කැමති නම් එසේ කිරීමට ද වටනේය. අනුමෝදනාවට සංඝස්ථවිරයන් තබා අන්‍ය භික්ෂූන් නො යා යුතුය. අනුමෝදනාව කරන තුරු යටත් පිරිසෙයින් සතර පස් නමක් වත් දන්සැලෙහි නැවතිය යුතු ය.
පිඬු පිණිස යන භික්ෂුව තෙමඬුලු වසා අඳනය හැඳ පටිය බැඳ සිවුරු දෙක ම එකට තබා පෙරවා ගණ්ඨිය දමා පාත්‍රය සෝදා ගෙන සන්සුන් ලෙස ගමට පිවිසිය යුතුය. ගෙයකට යන කල්හි යන එන සිත තබා ගෙන යා යුතු ය. ගෙට හෝ මිනිසුන්ට ඉතා නො ළං විය යුතු ය. ඉතා දුරින් ද නො සිටිය යුතු ය. ඉතා ඉක්මණින් ද ආපසු නො යා යුතුය. බොහෝ කල් ද නො සිටිය යුතුය. සිට දෙන නො දෙන බව සැලකිය යුතුය. ඉදින් මිනිස්සු අසුනෙන් නැගිටිත් නම් භාජන ගනිත් නම් හැඳි හෝ ගනිත් නම් දෙන බව සලකා සිටිය යුතුය. ආහාරය දෙන කල්හි වමතින් සිවුර ඉවත් කොට දෙ අතින් ම පාත්‍රය අල්වා පිළිගත යුතු ය. දෙන අයගේ මුහුණ නො බැලිය යුතුය. ව්‍යඤ්ජන දෙනු කැමති සලකුණු පෙනේ නම් දෙන තෙක් සිටිය යුතුය. දුන් පසු සිවුරෙන් පාත්‍රය වසා ගෙන නික්මිය යුතුය.
බොහෝ භික්ෂූන් ඇති තැන්වල පිඬු සිඟා පළමු පැමිණි භික්ෂුව විසින් දන් සැලෙහි අසුන් පැනවිය යුතුය. පැන් තැබිය යුතුය. වැඩි ආහාර දමන භාජනය සෝදා තැබිය යුතුය. පසුව පිඬු සිඟා පැමිණෙන භික්ෂුව කැමති නම් ඉතිරි වී ඇති ආහාර වැළඳිය යුතුය. නො කැමති නම් ඒවා ඉවත් කොට භාජනය සෝදා තැබිය යුතුය. අසුන් අකුලා තැබිය යුතුය. පැන් තැබූ බඳුන් තැන්පත් කළ යුතුය. ශාලාව හැමදිය යුතුය.
ආරණ්‍යයෙහි වාසය කරන භික්ෂුව විසින් කාලය පැමිණි කල්හි බඩු තැන්පත් කොට ජනෙල් දොරවල් වසා පා සිවුරු ගෙන පාවහන් ඇති නම් එය පය ලා ගම බලා යුතුය. ගම සමීපයට පැමිණි කල්හි සේඛියාවෙහි දැක්වෙන පරිදි සිවුරු හැඳ පොරවා පාවහන් ථවිකයෙහි ලා ගෙන පිඬු සිඟා ගත යුතු ය. තමා වාසය කරන තැන බොන පැන් පරිභෝග පැන් නිතර තබා ගත යුතුය. පැන් තබා ගැනීමට භාජන දෙකක් නො මැති නම් එක් පැන් බඳුනක් හෝ තබා ගත යුතුය. බඳුන් නොමැති නම් හුණ පුරුක්වල හෝ පැන් තබා ගත යුතුය. එ සේත් නො හැකි නම් නුදුරු තැන ජලය රැඳී සිටීමට වළක් හෝ පිළියෙළ කර තබා ගත යුතුය. ගිනි අවුලවා තැබිය යුතුය. වුවමනා විටෙක ගිනි දල්වා ගැනීමට උපකරණ ළඟ ඇති නම් නිතර ගිනි අවුලා නො තැබුව ද වරද නැත. සැරයටියක් තබා ගත යුතු ය. දින මාස සෘතු දැන ගත යුතුය. දිශා දැන සිටිය යුතු ය.
යම් කිසි විහාරයෙක (පන්සලක - ආවාසයෙක) වාසය කරන්නා වූ භික්ෂුව විසින් ඒ විහාරයෙහි ඇති බඩු පිරිසිදු කර තැබිය යුතුය. ආවාස හැමද පිරිසිදු කර තැබිය යුතුය. පඩික්කම්වල පටන් සියලු භාජන පිරිසිදු කළ යුතු ය මිදුල් හැමද කසළ ඉවත් කළ යුතු ය. භෝජන ශාලා වැසිකිළි කෙසකිළි පිරිසිදු කළ යුතුය. සෑ මලු බෝමලු ප්‍රතිමාගෘහ පිරිසිදු කර තැබිය යුතු ය. බොන පැන් පරිභෝග පැන් තැබිය යුතු ය. ධූලි සහිත වාතය එන දිශාවල ජනේල දොර වැසිය යුතු ය. ඒ ඒ වෙලාවට සුදුසු පරිදි කවුළු හැරීම හා වැසීම කළ යුතුය. විහාරය විනාශ වන පරිදි නිතර ම කවුළු හැර තැබීම නො කළ යුතු ය.
වැඩිමහල්ලන් හා එක් විහාරයෙක් හි වෙසෙන නවකයා විසින් වැඩිමහල්ලාගෙන් අවසර නො ගෙන ශබ්ද නඟා බණ පිරිත් නො කිය යුතුය. පොත පත නො කියවිය යුතු ය. පාඩම් නො කිය යුතුය. පාඩම් නොකළ යුතුය. පහන් නො දැල්විය යුතුය. නො නිවිය යුතුය. කවුළු ඇරීම වැසීම නො කළ යුතුය. මේවාට නිතර ම අවසර ගැනීම කරදර බැවින් වැඩි මහල්ලා විසින් නවකයාට රිසි සේ ඒවා කර ගැනීමට අවසර දී තැබීම මැනවි. වැඩිමහල්ලා විසින් එසේ අවසර දී ඇති කල්හි රිසි සේ ඒවා කර ගැනීමෙන් නවකයාට වරදක් නො වේ. එහෙත් වැඩිමහල්ලාට කරදරයක් නො වන පරිදි ඒ වැඩ කිරීම නවකයාගේ යුතුකම බව සැලකිය යුතුය. සක්මන් කරන කල්හි ද සිවුරු කොනකුදු වැඩිමහල්ලාගේ සිරුරෙහි නො සැපෙන පරිදි නවකයා පිළිපැදිය යුතු ය.
නිතර ම වැඩිමහල්ලාට මුල් තැන දීම බුදුසස්නේ චාරිත්‍රයෙකි. එහෙත් වැසිකිළියට පිවිසීම කළ යුත්තේ වැඩිමහලු පිළිවෙළින් නොව පැමිණි පිළිවෙළිනි. කෙස කිළියට හා නාන තොටට පිවිසිය යුත්තේ ද පැමිණි පිළිවෙළිනි.
වැසිකිළියට පිවිසෙන්නහු විසින් ඇතුළෙහි අනිකකු ඇති නැති බව දැන ගැනීම සඳහා පිටත සිට කෑරීම කළ යුතුය. ඇතුළෙහි කෙනකු ඇති නම් ඒ බව පිටත ඉන්න හුට දැන ගැනීම සඳහා එසේ කළ යුතුය. සිවුරු දැමීමට ඇති වැලෙහි හෝ දඬුවෙහි සිවුර තබා වැසිකිළියට පිවිසය යුතු ය. පාදුකාව උඩට පැමිණෙන තුරු අඳනය නො එසවිය යුතුය. ශබ්ද නැඟෙන සේ තතනමින් වර්චස් නො කළ යුතුය. දැහැටි සපමින් වර්චස් නො කළ යුතු ය. වර්චස් කරන තැනින් බැහැර වර්චස් නො කළ යුතුය. බැහැර මුත්‍ර නො කළ යුතුය. මුත්‍ර කරන තැන කෙළ නො ගැසිය යුතුය. ශබ්ද නැඟෙන සේ සේදීම නො කළ යුතුය. පාදුකාව මත සිට ගෙන ම අඳනය පහත දමා එයින් බැහැර විය යුතුය. සේදීමට ගත් වතුර බඳුනෙහි ඉතිරි කර නො තැබිය යුතුය. වැසිකිළියෙහි වතුර අවසන් වී ඇති නම් තැබිය යුතුය. වැසිකිළිය අපවිත්‍ර වී ඇති නම් එය සෝදා පිරිසිදු කළ යුතුය. ජලය නැති නම් අන් ක්‍රමයකින් පවිත්‍ර කළ යුතුය. තමා නිසා වැසිකිළිය අපවිත්‍ර වුවහොත් එය අනිකකුට ශුද්ධ කරන්නට නො තබා තමා විසින් ම පිරිසිදු කර තැබීම පැවිද්දකුගේ යුතු කමකි. ඒ යුතුකම පැහැර නො හැරිය යුතුය. වැසිකිළියෙහි හා ඉන් පිටත ද කසළ ඇති නම් හැමඳ පිරිසිදු කළ යුතුය. මේ වැසිකිළි වතය.
ජන්තාඝරවතය කියාත් වතක් විනයෙහි ඇතත් මෙකල ජන්තාඝර නැති බැවින් ඒ වත නො දක්වන ලදි.
“සැදැහැයෙන් සසුන් වන් කුලදරුවන් විසින් අරුණට පළමු ව දැහැටි වළඳා මලුපෙත් මං හැමද නිමවා පැන් පෙරහා තබා විවේකස්ථානයක හිඳැ සිල් බැලීමෙන් විවේක වත් සැපයීමෙන් තුන් පැයක් යවා ගෙඩිය ගැසූ කලැ “සතං හත්ථි සතං අස්සා” යනාදීන් සිහි කරමින් දැගැප් මහබෝයට එළඹැ වත් සපයා පිදිය හැකි වතක් ඇත පුදා “ඉතිපිසෝ භගවා” යනාදීන් නව අරහාදි බුදු ගුණ සිහි කොටැ අන්‍යවිහිත නො වැ වැඳ එක විට මැ ආපුච්ඡා කොටැ ගෙනැ නැඟී සිටැ, පිළිවෙළින් පත්කඩ තබා වැඳ ගෙනැ ලිත බලා අවච්ඡායාව පොහෝ කළ දවස බුද්ධවර්ෂය කියාලූ කලැ
“තස්ස පාසාදිකං හෝති පත්තචීවර ධාරණං,
පබ්බජ්ජා සඵලා තස්ස යස්ස සීලං සුනිම්මලං”
යනාදීන් සිහි කොටැ පා සිවුරු ධර වැ කමටහන් ගෙනැ ගමට වදනා කලැ ආචාර්‍ය්‍ය උපාධ්‍යායනට නුදුරු වැ නො ළං වැ ගොස් සිවුරු හඳනා තැනැ හැමදැ පාත්‍රය මුදා දීලා කැටුවැ ගොස් ගමට වැදැ ස්ත්‍රී පුරුෂ ඇත් අස් රථ පාබල සෙනඟ නොයෙක් දික් නො බලා සේඛියාහි කී සෙයින් සිඟා ගෙනැ කැටුවැ නික්මැ පාත්‍රය හා සඟළ සිවුරු දෙ අතින් අල්වා ගෙනැ කමටහන් මෙනෙහි කරනුවන් විසින් වෙහෙරට අවුත් සිවුරු වස පිසැ තබා හිඳිනා අසුන් පනවා පත් සලා පා දෙවැ පැන් මලා දැහැටි දඬු එළවා දී තමාගේ පාත්‍ර පර්‍ය්‍යාපන්නයෙන් අනුනට දන් දීලා කිසිවක් උන් නො ගත හොත් බත් සරලුවක් වත් දන් දීලා ඇසෙන සේ පස්විකා ගෙන සේඛියාහි කී සෙයින් අහර කිස නිමවා පිළිවෙළින් වැඩිමහලු තැන්ගේ පාත්‍ර සෝධා වත් සපයා බොජුන්හල් හැමදැ ගුරුන්ට වත් දක්වා ඉක්බිති ගුරුන් හා බුදුන් වැඳැ ගෙනැ විවේක ස්ථානයක හිඳැ අතීත පස්විකුම් පස්විකා සිල් තබා මෙත් කොටැ ගෙනැ පැයක් විතරකින් අත ගසා ලූ කලැ පොත කියවා පත ලියවා අසන පිරුවහන දෙය වනපොත් කොටැ විදර්ශනා ධූරයෙහි යෙදෙන්නවුන් විසින් වෙන වෙන මැ හිඳැ තමහට නියම පෙළ වනපොත් දීලා අසා ගෙන වේලා ඇත හොත් වනපොත් කැටැ ලා රෑ වන්නට පැයකදී ගෙමලු හැමැන්ද යුතු.
වත් පැමිණියන් විසින් ගිනි එළවා පහන් පුදා බණ සලසා ආරාධනා කොටැ පයට පැන් එළවා පිළිවෙළින් හිඳැ බණ අසා පිරිත් බැණැ ගෙන ගුරුන්ට වත් දක්වා විචාළ මනා සැක ඇත විචාරා ගෙනැ පුහුණුවන් ඇත පිරිවහා සේඛියා චතුපාරිසුඬිසීලය පිරිවහා ගෙනැ තමන් සැතපෙන ගෙහි වැඩිමහල්ලන් ඇත වත් සපයා වැඳැ අවකාශ ගෙනැ සැතපෙන අස්නේ හිඳැ පස්විකා ගෙනැ සතර කමටහන් මෙනෙහි කොටැ අලුයම නඟෙමි යන සිතින් නිද්‍රෝපගත වැ අලුයම නැඟී පස්විකා ගෙනැ සතර කමටහන් මෙනෙහි කොටැ රතන සූත්‍රයෙන් පිරිත් බැණැ මෙත් කොටැ ගෙනැ අරුණට පළමු වත් සැපයීමෙන් පළමු කී සෙයින් ම කරනුවන් විසින් දෙවේලෙහි මෙත් පිරිත් සංවේගවස්තු අට අශුභ මරණ සති සිහිකරනුවන් විසින් එක්වන් දසධම්ම සූත්‍රය මෙනෙහි කිරීමෙන් ඡන්දාදීන් අපායෙහි ගෙනැ හැරැ සිටවූවාක් මෙන් නො කොටැ ඔවුනොවුන්ගේ දුටු වරද කීමෙන් මෙත්තාවචීකර්මය පුරා “යෝ පන භික්ඛු ධම්මානු ධම්මපටිපන්නෝ විහරති සමීචිපටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේ ති පරමාය පූජාය පටිපත්ති පූජාය” යි වදාළ අවවාද සිත තබා ගෙනැ බුදුන් මෙසේ ප්‍රතිපත්ති පූජායෙන් පුදනු වන් විසින් මෙකී දින චරියාව කෙළේ ඇද්දැ යි විචාළ කලැ කළවුන් විසින් මුවෙන් නොබිණීමෙන් හා වුවමනා කිසි කටයුත්තකට කාරණා කියාලීමෙන් හා වැරැද්දකට වැලිලාස්සක් ගෙනැ හැර මලුයෙහි ලා එක්වන් දිනචරියාව පසස්නන් විසින් සබ්‍රම්සරුන්ගේ සිවුරු ගෙත්තම් කිරීම් පාත්‍ර පිසීම් ආදී වූ කුදු මහත් කටයුත්තෙහි සමර්ථ වැ ඉදිසිත් ඇති වැ වැඩිමහල්ලන්ට සුවච වැ මොළොක් වැ පාපිස්නා බිස්සක් සෙයින් මන් නැති වැ සතර පසයෙහි ලද දෙයකින් සතුටු වැ අල්පකෘත්‍යය ඇති වැ පරිෂ්කාර දොළොසකින් වඩා නො ගැන්මෙන් ස්වකීය පැවතුම් ඇති වැ සන්හුන් ඉඳුරන් ඇති වැ මුහු කළ නුවණින් යුක්ත ව කායගර්ව වචීගර්ව නැති වැ කුලයා කෙරෙහි ද ගණයා ද කෙරෙහි ද නො ඇලී කුඩා වුවත් පාපයකුදු නො කොටැ මෙසේ ප්‍රතිපත්තිපූජායෙන් පුදනුවන් විසින් ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කට යුතුයි.”
මේ දිනචරියාව මේ පොතට ඇතුළු කරන ලද්දේ එයට අනුව සෑම දෙනාට ම හැසිරිය හැකි නිසා නොව එයින් ගත යුතු උපදෙස් ගැනීමට ය. එය මේ බුදුසස්නේ සැමට ම සාධාරණ දිනචරියාවක් නොව බොහෝ පැවිද්දන් විසූ විහාරයක දිනචරියාවෙකි. එක්නම දෙනම වශයෙන් ඇති තැන්වල ඒ දින චරියාව අනුව කටයුතු නො කළ හැකිය. දිනචරියාවට දැන් ව්‍යවහාර කරන්නේ කාල සටහනය කියා ය. නියමිත කාල සටහනක් තිබීම කාල සටහනකට අනුව වැඩ කරන්නට පුරුදු කර ගැනීම ඉතා ප්‍රයෝජනවත් ය. එයින් වැඩ අත පසු නො වේ. එබැවින් සියලුම භික්ෂූන් විසින් තමන් වාසය කරන පළාතට - විහාරයට - කාලයට - පරිසරයට ගැලපෙන පරිදි තම තමන්ට කාලසටහනක් සාදා ගෙන එය අනුව වැඩ කිරීම පුරුදු කර ගත යුතු ය. පැවිදි සෑම දෙනා ගේ ම දිනචරියාවට අරුණට පළමු නැගිටීම, දිනකට දෙතුන් වරක් තුනුරුවන් වැඳීම, ප්‍රත්‍යවේක්ෂා කිරීම, වත් කිරීම, භාවනා කිරීම යන මේවා ඇතුලත් විය යුතු ය.
දැනට බුදුන් වහන්සේ ජීවමාන ව අප හමුවෙහි නැති නිසා මේ සූත්‍රයේ සැටියට පිළිපැදීමට ඉඩක් නැතය යි සමහර විට සිතෙන්නට පිළිවෙන. දැනුදු ශාස්තෘන් වහන්සේ නැතය කියා නො සැලකිය යුතු ය. තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළ සේක.
“තුම්හාකං පනානන්ද, ඒවමස්ස : අතීතසත්ථුකං පාවචනං නත්ථි නෝ සත්ථාති. න ඛෝ පනානන්ද, එවං දට්ඨබ්බං, යෝ වෝ ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ, සෝ මමච්චයේන වෝ සත්ථා.”
(මහාපරිනිබ්බාන සුත්ත)
මේ දේශනයෙන් තථාගතයන් වහන්සේ විසින් ම උන්වහන්සේ විසින් දේශිත ධර්මය හා ප්‍රඥප්ත විනය ශාස්තෘස්ථානයෙහි තබා ඇති බැවින් ධර්ම විනය ලෝකයෙහි ඇති තාක්, ශාස්තෘන් වහන්සේ ද ඇති සැටියට සැලකිය යුතුය.
පාතිමොක්ඛසංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීවපාරිසුද්ධි සීලය, පච්චයසන්නිස්සිත සීලය කියා සීල සතරක් ඇත්තේ ය. ඒ සතර සීලයට චතුපාරිසුද්ධි සීලයයි කියනු ලැබේ. මේ සතර සීලය සාමණේර උපසම්පදා දෙපක්ෂයට ම සාධාරණය වෙනස සාමණේරයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙහි සිකපද අඩුවීම පමණෙකි.
ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය
තථාගතයන් වහන්සේ විසින් පනවා ඇති විනය සිකපදයන් පිළිබඳ වූ ශීලය ප්‍රාතිමෝක්ෂ සංවරශීල නමි. සාමණේරයන් විසින් රැකිය යුතු සිකපද සමූහය සාමණේරයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය. උපසම්පන්නයන්ට පනවා ඇති සිකපද සමූහය උපසම්පන්නයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය.
ඉන්ද්‍රිය සංවර ශීලය
චක්ඛු - සෝත - ඝාන - ජිව්හා - කාය - මන කියා රූපාදි අරමුණු ගන්නා ඉන්ද්‍රිය සතක් ඇත්තේ ය. රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්ම යන මේවා චක්ෂුරාදි ඉන්ද්‍රිය සයෙන් ගන්නා අරමුණු ය. සිහියෙන් යුක්ත නො වන ධර්මසංඥාවෙන් තොර ව වාසය කරන්නා වූ පුද්ගලයන්ට චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා රූපාදිය සම්බන්ධයෙන් බොහෝ සෙයින් ඇති වන්නේ ඇලීම හෝ විරෝධය ය. ඇලීමය කියනුයේ ලෝභ නම් වූ අකුශල මූලය ය. විරෝධ යයි කියනුයේ ද්වේෂ නම් වූ අකුශල මූලය ය.
යම්කිසි අරමුණක් ගැන ඇලීම හෝ විරෝධය ඇති වුව හොත් එය අනුව අකුශලචිත්ත පරම්පරාවක් ම ඇති වෙයි. ඒ නිසා තමා රක්නා ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ද බිඳී යා හැකි ය. ඉන්ද්‍රියයන් කරණ කොට ගන්නා ලද රූපාදිය සම්බන්ධයෙන් තෘෂ්ණා ද්වේෂයන් මුල් කොට ඇති අකුශලයන් ඇති නො වන පරිදි සිහියෙන් යුක්ත වීම - පරෙස්සම් වීම ඉන්ද්‍රිය සංවර ශීලය ය.
ඇසට රූපයක් හමු වූ කල්හි එය රූපයක් වශයෙන් සලකා නැවතුන හොත් එය සම්බන්ධයෙන් කෙලෙස් ඇති නොවේ. අකුසල් ඇති නො වේ. රූපාදිය නිසා කෙලෙස් ඇති වන්නේ ඒවායේ නිමිති හා අනුබ්‍යඤ්ජනයන් ගැනීමෙනි. ඇසින් රූපයක් දුටු කල්හි මේ තරුණයෙක, තරුණියක, මහල්ලෙක, මැහැල්ලෙක, ලස්සන එකෙක, කැත එකෙක, සතුරෙක, සැතිරියක, මිතුරෙක, මිතුරියක යනාදීන් ගැනීම රූප නිමිත්ත ගැනීම ය. එය ගත් කල්හි හොඳය ලස්සනය යනාදීන් සලකා ඇලීමත් නරකය. කැතය යනාදීන් සලකා විරෝධයත් නරක ය. කම්මුල් තොල් දත් ඇස් අත් පා ළය යනාදීන් කොටස් වශයෙන් ගැනීම ව්‍යඤ්ජන වශයෙන් ගැනීම ය. ඒ ඒ කොටස් ලස්සනය හොඳය කියා ද නරකය කැතය කියා ද ගැනීමෙන් ඇල්ම හා විරෝධය ඇති වේ.
පෙර අනුරාධපුරයෙහි විසූ ස්ත්‍රියක් සැමියා හා කලහ කර යන්නී, පෙර මඟ වඩනා මහා තිස්ස තෙරුන් වහන්සේ දැක මහ හඬින් සිනා සුනා ය. තෙරුන් වහන්සේ ඇගේ දත් ඇට ටික දැක ඒ රූපය ඇට සැකිල්ලක් සේ සලකා ගත්හ. ඇය සොයා ඒ මඟ ආ ඇගේ සැමියා තෙරුන් වහන්සේ දැක, “ස්වාමීනි, මේ මඟ ස්ත්‍රියක යනු දුටු සේක්දැ”යි විචාළේය. එකල්හි තෙරුන් වහන්සේ “පින්වත, ස්ත්‍රියක පුරුෂයෙක කියා නො දනිමි. මේ මඟ ඇට සැකිල්ලක් නම් ගියේ ය” යි කීහ. උන්වහන්සේට ස්ත්‍රිය ස්ත්‍රියක් වශයෙන් නො දැනුණේ උන්වහන්සේගේ උසස් ඉන්ද්‍රිය සංවරය නිසා ය. ඉන්ද්‍රිය සංවර ශීලය රැකිය යුත්තේ ඒ මහා තිස්ස තෙරුන් වහන්සේ මෙන් ය. මෙය රැකීමට ඉතා දුෂ්කර ශීලයෙකි. එබැවින් ඒ සම්බන්ධයෙන් සිකපද පනවා නැත. පැවිද්දන් විසින් සැම කල්හි ම ඉන්ද්‍රිය සංවරයෙන් තොර ව වාසය නො කොට, හැකි පමණින් මේ ශීලය ද රැක තමන්ගේ ශ්‍රමණභාවය උසස් කර ගත යුතු ය.
ආජීවපාරිශුද්ධි ශීලය
ගිහියන් සතුටු කොට ඔවුන්ගෙන් ප්‍රත්‍යය ලබනු පිණිස කරන, බුද්ධාදීන් විසින් පිළිකුල් කරන නො මනා ක්‍රියාවලීන් වැලකී පිඬුසිඟා ගැනීම් ආදියෙන් දැහැමින් ජීවත් වීම ආජීවපාරිශුද්ධි ශීලය ය.
සතුටු කිරීම සඳහා ගිහියන්ට යම් යම් දේ දීම, වෙදකම් කිරීම, කේන්ද්‍රය බලා පලාපල කියා දීම, අතබලා පලාපල කියා දීම, නැකැත් සාදා දීම, මන්ත්‍රගුරුකම් කිරීම රස්සාවල් සොයා දීම, ගිහියන් එනු දුටු කල්හි පෙර මඟට ගොස් පිළිගැනීම, ඔවුනට පසු ගමන් කිරීම, හිතවත්කම දක්වා චාටු බස් කීම, ඉදිරියෙහි ඉන්නා අයට ස්තුති කිරීම, නැති අයගේ අගුණ කිරීම, පමණට වඩා ගරු නම්බු දී කථා කිරීම, බොරු හැබෑ මිශ්‍ර කොට කථා කිරීම, ගිහියන්ගේ දරුවන් සුරතල් කිරීම, පණිවිඩ ගෙන යෑම් ආදි ගිහියන්ගේ වැඩ කිරීම, තමාගේ ගුණ ඇඟවීම, නැති ගුණ දැක්වීම, වැඩිපුර ලැබීමට සිතා දෙන දෙය ප්‍රතික්ෂේප කිරීම යනාදිය කිරීමෙන් ප්‍රත්‍යය ලබා ජීවත්වීම මිථ්‍යා ජීවිකාව බව දත යුතු ය.
ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය
පිඬු සිඟා ගැනීම් ආදියෙන් දැහැමින් වුව ද ලද සිවු පසය ප්‍රයෝජනය වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ප්‍රතිකූල වශයෙන් හෝ ප්‍රත්‍යවේක්ෂා කොට පරිභෝග කරන බව ප්‍රත්‍යයසන්නිශ්‍රිත ශීලය ය. ප්‍රත්‍යවේක්ෂාව ඉහත දක්වා ඇත.
මාපියන් හැර, සහෝදර සහෝදරියන් හැර, නෑයන් හැර, ධනය හැර, තවත් නොයෙක් කාමයන් හැර, සසරින් එතර වීමේ අටියෙන් සැදැහැයෙන් පැවිදි වූ කුල පුත්‍රයන් විසින් තමන් පත් පැවිද්ද සඵල කර ගනු වස්
“කිකීව අණ්ඩං චමරීව වාලධිං - පියං ව පුත්තං නයනං ව ඒකකං.
තථෙව සීලං අනුරක්ඛමානා - සුපේසලා හෝථ සදා සගාරවා”
යන ගයෙන් දක්වා ඇති පරිදි සෑම කල්හි ශීලය රක්නට උත්සාහ කළ යුතු ය.
“ජීවිත පරිත්‍යාගයෙන් බිජුවට රක්නා කිරල් දෙන මෙන් ද, ජීවිත පරිත්‍යාගයෙන් වලගය රක්නා සෙමෙර මුවා මෙන් ද, ජීවිත පරිත්‍යාගයෙන් පුත්‍රයා රක්නා එක් දරුවකු ඇති මව මෙන් ද, එකැසක් ඇති තැනැත්තකු ඇස රක්නාක් මෙන් ද, ජීවිත පරිත්‍යාගයෙන් සිල් රක්නා වූ බුද්ධාදීන් කෙරෙහි ගෞරව ඇත්තා වූ ප්‍රියශීලීහු වවු” ය යනු ගාථාවේ තේරුම ය.
“පාතිමොක්ඛං විසෝධෙන්තෝ අප්පේව ජීවිතං ජහේ
පඤ්ඤත්තං ලෝකනාථෙන න භින්දේ සීලසංවරං”
“ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය පිරිසිදු ලෙස රක්නා පැවිද්දා විසින් එය සඳහා ජීවිතය පරිත්‍යාග කිරීම යහපති ය. ලෝකනාථයන් වහන්සේ විසින් පනවා ඇති සිකපද නොබිඳිය යුතුය” යනු ගාථාවේ අදහස ය.
උපන්නහුට මරණය නියත ය. එයින් නො මිදිය හැකිය. කිනම් හේතුවකින් හෝ සිදුවන්නට ඇති මරණය සිල් රැකීම නිසා වුවහොත් කොතරම් වටනේ ද? සිල් රැකීම නිසා මැරෙන තැනැත්තා ඒකාන්තයෙන් සුගතියට යන්නේ ය. එබැවින් පෙර විසූ ගුණවත් බොහෝ භික්ෂූහු ජීවිත පරිත්‍යාගයෙන් සිල් රැක රහත් ව සම්පූර්ණයෙන් ම මරණයෙන් මිදුණාහු ය.
පෙර දඹදිව මහාවත්තනි නම් වනයෙහි එක් තෙර නමක් සොරමුළක් විසින් ඔවුනට හමුවූ අමු වැල්වලින් බැඳ තබන ලදහ. ඔවුන් එසේ කළේ තෙරුන් වහන්සේට යන්නට ඉඩ දුනහොත් වනයෙහි සොරමුල ඇති බව ජනයන් දැන ගන්නා නිසා ය. තෙරුන් වහන්සේට ඒ බැමි සිඳී මිදී යා හැකිව තිබිණ. එහෙත් අමු වැල් සිඳීමෙන් ඇවැත් සිදුවිය හැකි බැවින් උන් වහන්සේ ජීවිතය පිණිස ද ඒ වැල් නො සින්දාහ. සොරුන් විසින් බැඳ දැමූ පරිදි උන්වහන්සේ බිම වැතිර සිට ජීවිතාශාව හැර සත් දිනක් මුළුල්ලෙහි විදසුන් වජා අනාගාමී ඵලයට පැමිණ සත්වන දින කාලක්‍රියා කොට ශුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්හ.
මේ ලක්දිව ද එක් තෙරනමක් එසේ ම සොරුන් විසින් මහ වනයෙහි රසකිඳ වැල්වලින් බැඳ තබනු ලැබීය. තෙරුන් වහන්සේ බඳිනු ලැබ සිටියදී ලැව් ගින්නක් හටගත්තේ ය. උන්වහන්සේට ද රසකිඳ වැල් සිඳ දමා මිදී යන්නට හැකි ව තිබිණ. එහෙත් මරණයට වඩා ඇවතට බිය වන උන්වහන්සේ ගින්නෙන් දැවි දැවී විදසුන් වඩා රහත් ව පිරිනිවන් පා වදාළහ. ‘දීඝභාණක අභය’ තෙරුන් වහන්සේ භික්ෂූන් පන්සියයක් හා වඩනාහු ඒ මෘතශරීරය දැක හැඳින ආදාහන කරවා ධාතු ගෙන සෑයක් කරවූහ.
‘අම්බඛාදක තිස්ස’ තෙරුන් වහන්සේ දුර්භික්ෂ කාලයක දී පහසු තැනක් බලා යන්නාහු ආහාර නොලැබීමත් ගමන් මහන්සියත් නිසා ඉතා දුබල වූ සේක. ඉදිරියට යා නො හී එක් අඹ ගසක් යට වැතිර ගත්හ. ඒ ගස යට තැනින් තැන බොහෝ ඉදුණු අඹ වැටී තිබිණ. කෙනකු විසින් නො පිළිගන්වන ලදු ව ඒ අඹ තමන් වහන්සේ විසින් ම ගෙන වැළඳුව හොත් ඇවැත් සිදුවන බැවින් උන්වහන්සේ අඹ පැල දැක දැක ද ජීවිතාශාව හැර ශීලය ම උසස් කොට නිරාහාර ව උන්හ. එක් මහලු උපාසකයෙක් ක්ලාන්ත ව වැතිර ඉන්නා වූ තෙරුන් වහන්සේ දැක, උන්වහන්සේට අඹ පැන් සාදා පිළිගන්වා මඳක් වෙහෙස සන්සිඳවා තවත් උපස්ථාන කොට සුවපත් කරවනු පිණිස තෙරුන් වහන්සේ ඔහුගේ පිට උඩ තබා ගෙන ඔහු වාසය කරන තැනට ගෙන යන්නට පටන් ගත්තේ ය. එකල්හි තෙරුන් වහන්සේ උපාසක තැන විසින් කරනු ලබන සත්කාරය ගැන මහත් සංවේගයට පැමිණ විදසුන් වඩන්නාහු උපාසක තැන ගේ පිට උඩදී ම සව් කෙලෙසුන් නසා රහත් වූහ.
“ධනං චජේ යෝ පන අංගහේතු
අංගං චජේ ජීවිතං රක්ඛමානෝ,
අංගං ධනං ජීවිතං චාපි සබ්බං
චජේ නරෝ ධම්මමනුස්සරන්තෝ”
ශරීරාවයවයන් රැක ගනු පිණිස ධනය හරනේ ය. වියදම් කරන්නේ ය. ජීවිතය රක්‍ෂා කරනු පිණිස ශරීරාවයව ද පරිත්‍යාග කරන්නේ ය. ධර්මය සිහි කරන්නේ අංග ධන ජීවිත යන සියල්ල පරිත්‍යාග කරන්නේ ය” යනු ගාථාවේ අදහස ය.
මේ සත්පුරුෂ චින්තාව උත්තම පුරුෂ චින්තාව, පැවිද්දන් විසින් නිතර සිහි කළ යුතු ය.
“සාසනේ කුලපුත්තානං පතිට්ඨා නත්ථි යං විනා
ආනිසංසපරිච්ඡේදං තස්ස සීලස්ස කෝ වදේ.”
තේරුම :
ශාසනයෙහි කුලපුත්‍රයන්ට ශීලය හැර අන් පිහිටක් නැත්තේ ය. ඒ ශීලයේ ආනිසංස ප්‍රමාණය කවරෙක් කීමට සමත් වේ ද, නො වේ ම ය.
සියලු ලෞකික ලෝකෝත්තර ගුණයන් ගේ මූලය ශීලය ම බවත් කියා නිම කළ නො හෙන තරමට එහි අනුසස් ඇති බවත් මේ ගාථාවෙන් ප්‍රකාශිත ය.
න ගංගා යමුනා චා පි සරභූවා සරස්සතී,
නින්නගා වා චිරවතී මහී චාපි මහා නදී.
සක්කුණන්ති විසොධෙතුං තං මලං ඉධ පාණිනං
විසොධයන්ති සත්තානං යං වෙ සීලජලං මලං”
තේරුම:
සත්ත්වයන් ගේ යම් රාගාදි කෙලෙස් මලයක් ශීල නමැති ජලය පිරිසිදු කෙරේ ද, ඒ කෙලෙස් මල පිරිසිදු කිරීමට ගංගා නම් ගඟ ද, යමුනා නම් ගඟ ද, සරභු නම් ගඟ ද, සරස්වතී නම් ගඟ ද, කුඩා ගංගාවෝ ද, අචිරවතී මහී නම් වූ මහා ගංගාවෝ ද සමත් නො වන්නාහ.
“න තං සජලදා වතා නචාපි හරිචන්දනං
නේව හාරා න මණයෝ න චන්දකිරණංකුරා,
සමයන්තී ධ සත්තානං පරිළාහං සුරක්ඛිතං
යං සමෙති ඉදං අරියසීලං අච්චන්තසීතලං.”
තේරුම :
මනා කොට රක්නා ලද මේ ආර්ය වූ අත්‍යන්ත ශීතල වූ ශීලය සත්ත්වයන් ගේ යම් කෙලෙස් දැවිල්ලක් සන්සිඳවා ද, සිසිල් දිය වගුරුවන වලාකුළු ද ශීත වාතයෝ ද රන්වන් සඳුන් ද, සිසිල් මුතුහර ද, මැණික් ද, සඳරැස් ද යන මොහු ඒ ක්ලේශදාහය නො සන්සිඳ වන්නාහ.
“සීලගන්ධසමෝ ගන්ධෝ කුතෝ නාම භවිස්සති,
සෝ සමං අනුවාතේ ච පටිවාතේ ච වායති”
තේරුම :
සීල සුගන්ධය හා සම සුගන්ධයක් අන් කුමකින් ඇති වේ ද, නො වේ ම ය. එය වෙනසක් නැතුව යටි සුළඟට ද උඩු සුළඟට ද හමයි.
“සග්ගාරෝහණසෝපානං අඤ්ඤං සීලසමං කුතෝ,
ද්වාරං වා පන නිබ්බාන නගරස්ස පවේසනේ.”
තේරුම :
ස්වර්ගයට නැඟීමට සීලය වැනි අන් හිනක් කොයින් ද? නිර්වාණ නගරයට පිවිසීමට ශීලය හැර අන් දොරක් කොයින් ද?
“සොභන්තේවං න රාජානෝ මුත්තා මණිවිභූසිතා,
යථා සොභන්ති යතිනෝ සීලභූසන භූසිතා”
තේරුම :
ශීල නමැති ආභරණයෙන් සැරසුණා වූ යතීහු යම් සේ හොබිත් ද මුතු මැණික්වලින් සැරසුණා වූ රජවරු එසේ නො හොබිත්.
“අප්පකම්පි කතා කාරා සීලවන්තේ මහප්ඵලා
හොන්තීති සීලවා හෝති පූජාසක්කාර භාජනං.”
තේරුම :
සිල්වතා කෙරෙහි කළ ස්වල්ප වූ සත්කාරයෝ මහත්ඵල වෙති. එබැවින් සිල්වතා පූජා සත්කාරයන්ට භාජන වේ.
“යා මනුස්සේසු සම්පත්ති යා ච දේවේසු සම්පදා,
න සා සම්පන්නසීලස්ස ඉච්ඡිතෝ හෝති දුල්ලභා”
තේරුම:
මිනිස්ලොව යම් මිනිස් සැපතක් ඇත්තේ ද දෙව්ලොව යම් දෙව් සැපතක් ඇත්තේ ද ඒ සියල්ල සිල් ඇත්තහුට දුර්ලභ නැත.
“අච්චන්තසන්තා පන යා අයං නිබ්බානසම්පදා
සම්පන්නසීලස්ස මනෝ තමෙව අනුධාවති.”
තේරුම :
අතිශයින් ශාන්ත වූ යම් නිර්වාණ සම්පත්තියක් ඇත්තේ ද සිල්වතාගේ සිත ඒ නිවන කරා ම යන්නේ ය.
සබ්‍රහ්මචාරීන්ට ප්‍රියමනාප වීම ආදී කොට ඇති අනුසස් රාශියක් සීලයෙන් ලැබිය හැකි බව ආකංඛෙය්‍ය සූත්‍රාදියෙහි වදාරා ඇත්තේ ය. කොටින් කියත හොත් මේ ශීලය සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ම ලබා දෙන්නක් බව කිය යුතුය.
ධනය වනාහි ආර්ය ධනය, අනාර්ය ධනය කියා දෙවැදෑරුම් වේ. රන් රිදී මුතු මැණික් වස්ත්‍රාභරණ ගෙවල් වතු කුඹුරු ආදිය අනාර්ය ධන නම් වේ.
බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් ගරු කරනු ලබන ශ්‍රද්ධාශීලාදි ගුණ ධර්මයෝ ආර්‍ය්‍ය ධන නම් වෙති. කිනම් ශීලයක් වුවද දිනක් දෙකක් රැකීම දුෂ්කර නො වේ. එය කාහට වුවද පහසුවෙන් කළ හැකිය. දුෂ්කර වන්නේ එක සිකපදයක් වුවද බොහෝ කල් රැකීම ය. එබැවින් එක සිකපදයකුදු නො බිඳ සතියක් පන්සිල් රැක ඇති අය ද මහජනයා අතර සුලභ නැත. පහසුවෙන් කළ හැකියක් වන බැවින් මඳ කලක් රක්නා ශීලයෙහි එතරම් වටිනා කමක් උසස් කමක් නැත. වටිනාකම ඇත්තේ ශීලය පරණ වූ පමණට ය. සතියක් රැකි ශීලයට වඩා මසක් රැකි ශීලය උසස් ය. මසක් රැකි ශීලයට වඩා වර්ෂයක් රැකි ශීලය උසස් ය. මෙසේ ශීලයේ උසස් වීම සැලකිය හැකිය. පැවිද්දා දිවි හිමියෙන් සිල් රකින්නෙකි. එබැවින් පැවිද්දා ගේ ශීලය ඉතා උසස් ය. එහි වටිනාකම පමණ කළ නො හැකිය. ඒ ශීලස්කන්ධය පැවිද්දාගේ ධනස්කන්ධය ය. ශීල සංඛ්‍යාත ගුණස්කන්ධයක් ඇති බැවින් ශතයකුදු නැති පැවිද්දා ද ධනවතෙකි. මේ ශීලස්කන්ධය හැර ශ්‍රද්ධා ශ්‍රැත ත්‍යාග මෛත්‍රී කරුණාදි තවත් බොහෝ ගුණ පැවිද්දකුට ඇත්තේ ය. ඒවා පැවිද්දාගේ ධනය ය. සිල්වත් පැවිද්දකු ගේ තබා දුසිල් පැවිද්දකු ගේ ගුණ දශයක් ඇති බව මිළින්දපඤ්හයේ මෙසේ දක්වා තිබේ.
“ඉධ මහාරාජ, සමණ දුස්සීලෝ බුද්ධෙ සගාරාවෝ හෝති, ධම්මේ සගාරාවෝ හෝති, සංඝෙ සගාරාවෝ හෝති, සබ්‍රහ්මචාරීසු සගාරාවෝ හෝති, උද්දේස පරිපුච්ඡාය වායමති සවණබහුලෝ හෝති, භින්නසීලෝපි මහාරාජ, දුස්සීලෝ පරිසගතෝ ආකප්පං උපට්ඨපේති, ගරහ භයා කායිකං වාචසිකං රක්ඛති, පධානාභිමුඛමස්ස හෝති චිත්තං, භික්ඛුසාමඤ්ඤං උපගතෝ හෝති. කරෝන්තෝපි මහාරාජ, සමණ දුස්සීලෝ පාපං පටිච්ඡන්න ආචරති. යථා මහාරාජ, ඉත්ථි සපතිකා නිලීයිත්වා රහස්සේනේව පාපමාචරති, එවමෙව ඛෝ මහාරාජ, කරොන්තෝපි සමණදුස්සීලෝ පාපං පටිච්ඡන්නං ආචරති, ඉමේ ඛෝ මහාරාජ, දසගුණා සමණදුස්සීලස්ස ගිහීදුස්සීලතෝ විසේසේන අතිරේකා.”
“මහරජ, මේ සස්නෙහි ශ්‍රමණ දුශ්ශීල තෙමේ බුදුන් කෙරෙහි ගෞරව ඇත්තේ වේ, ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේ වේ, සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේ වේ. එක් ව මහණදම් පුරන ආචාර්යෝපාධ්‍යායාදීන් කෙරෙහි ගෞරව ඇත්තේ වේ, පෙළ හා අටුවා උගෙනීමට උත්සාහ කරන්නේ වේ, බොහෝ කොට බණ අසන්නේ වේ. මහරජ, බිඳුණු සිල් ඇත්තා වූ ද දුශ්ශීල තෙමේ පිරිස් මැදට ගියේ ශ්‍රමණාකල්පය පවත්වන්නේ වේ. ගර්හාවට බිය ව කය වචන රක්‍ෂා කෙරේ. ඔහුගේ සිත ප්‍රධානයට අභිමුඛ ව පවතී. භික්ෂු සංඛ්‍යාවට පැමිණ සිටින්නේ වේ. මහරජ, ශ්‍රමණ දුශ්ශීලයා පව් කරන්නේ ද සැඟවී කරයි. මහරජ, යම් සේ සැමියකු ඇති ස්ත්‍රිය සැඟවී රහසින් ම පාප ක්‍රියාවෙහි යෙදේ ද, මහරජ, එපරිද්දෙන් ශ්‍රමණ දුශ්ශීලයා පව් කරන්නේ ද සැඟවී කරයි. මහරජ, ගිහි දුශ්ශීලයාට වඩා විශේෂයෙන් මේ ගුණ දශය අතිරේක වශයෙන් ශ්‍රමණ දුශ්ශීලයා හට ඇත්තේ ය” යනු ඉහත දැක්වූ පාඨයේ තේරුම ය.
ශ්‍රමණ දුශ්ශීලයාගේ පවා මෙතෙක් ගුණ ඇති කල්හි සිල්වත් පැවිද්දකුගේ ගුණ ගැන කවර කථා ද? මහත් වූ ගුණස්කන්ධයක් ඇති බැවින් පැවිද්දාගේ තත්ත්වය ගිහියන්ගේ තත්ත්වයට වඩා බොහෝ උසස් ය. පැවිදි ජීවිතය ඉතා සාරවත් ය. ඇතැම් පැවිද්දන් පැවිදි බැව්හි කිසි ආස්වාදයක් නො ලබා ගිහියන්ගේ තතු උසස් කොට සලකමින් ඔවුන් ගේ සම්පත් බල බලා ඒවා කෙළ ගිලිමින් සිට කලකදී සිවුරු හැර යන්නේ පැවිද්දෙහි ගුණ පැවිද්දෙහි උසස් බව නොදැනීම හෝ මෙනෙහි නොකිරීම නිසා ය. සතුටක් ඇති ව මහණදම් පිරිය හැකි වීමට සියලු පැවිද්දන් විසින් තම තමන්ගේ ශීලාදි ගුණ විටින් විට සිහි කොට පැවිදි බව පිළිබඳ සතුට ඇති කරගත යුතු ය.
“අන්‍යයන් බැඳී සිටින කාමබන්ධනයන් සිඳ දමා අන්‍යයන් එරී සිටින කාම නමැති මඩ ගොහොරුවෙන් නැඟී, ගිහිගෙය හැර, පැවිදි ව, මම අද බුද්ධාදි මහෝත්තමයන් ගිය මඟ වූ නිවන් මඟට පා තබා සිටිමිය, බොහෝ දෙනෙකුන් පව්කම්හි ඇලී වාසය කරන්නා වූ මේ ලෝකයෙහි මම සාමණේර ශීලය (උපසම්පදා සීලය) රකිමිය. බොහෝ දෙනකුන් නොයෙකුත් පව් කම්වලට ලාමට වැඩවලට යොදන්නා වූ මේ නිසරු කයින් මම චෛත්‍යයෙහි වත්, බෝධියෙහි වත් විහාරයෙහි වත්, ආචාර්‍ය්‍ය වත් සංඝාරාමයෙහි වත් කරමිය, රත්නත්‍රයට වැඳුම් පිදුම් කරමිය, බොහෝ දෙනකුන් බොරු කීමට, පරුෂ වචන කීමට, කේලාම් කීමට, සම්ඵප්‍රලාප කීමට යොදන්නා වූ මේ කටින් මම බණ කියමිය, පිරිත් කියමිය, සිල් සමාදන් වෙමිය, සිල් සමාදන් කරමිය යනාදීන් තමා කරන යහපත් වැඩ නිතර සිහි කළ යුතුය. ශීලය මෙනෙහි කිරීමේ දී ප්‍රාණඝාතනය කරන අනුන්ට දුක් දෙන බොහෝ ජනයන් ඇති මේ ලෝකයෙහි මම මදුරුවකු මැස්සකු පවා නො මරා කාහටවත් පීඩාවක් නොකරමින් සැම සතුන් කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් වෙසෙමිය” යනාදීන් සිකපද වෙන වෙනම සිහි කොට ප්‍රීතිය ඇති කර ගැනීම වඩාත් යහපත් බව කිව යුතු ය.
ලෝකයාට මෙලොව පරලොව දෙක්හි ම යහපත් සිදු කර ගැනීමේ මාර්ගය දක්වන්නා වූ එය අනුව පිළිපදින්නා වූ තැනැත්තන් හට සකල ලෞකික ලෝකෝත්තර සම්පත්තීන් ලබා දෙන්නා වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනය කර ඇත්තා වූ අත්‍යුත්තම ධර්මය (බුද්ධාගම) අතුරුදහන් වන්නට නොදී පවත්වන්නෝ පැවිද්දෝ ය. පැවිද්දන් නැති නම් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ලෝකයෙන් අතුරුදහන් වී බොහෝ කල් ය. ධර්මය නැති වන්නට නොදී පැවැත්වීම පැවිද්දන්ගෙන් ලොවට සිදුවන ඉතාම උසස් සේවය ය. පැවිද්දන් ඇසුරු කොට ඔවුන්ගෙන් බණ අසා රත්නත්‍රය සරණ යෑමෙන් පඤ්ච සීලයෙහි පිහිටීමෙන් දන් දීම් ආදි පින් කිරීමෙන් පෙහෙවස් විසීමෙන් මෛත්‍රී කරුණාදි ගුණ ඇති කර ගැනීමෙන් දහම් උගෙන සම්මෝහය දුරු කර ගැනීමෙන්, භාවනාවෙහි යෙදීමනේ බොහෝ ජනයෝ තම තමන්ගේ දෙලෝ වැඩ සිදුකර ගන්නාහ. ඇතැමෙක් සෝවාන් ආදි ලෝකෝත්තර මාර්ග ඵලවලට පැමිණ නිවන් දක්නාහ. ඇතැමෙක් පැවිද්දන් ඇසුරු කිරීමෙන් බුදුසස්න හැඳින තුමූ ද සසුනෙහි පිළිවෙත් පුරා නිවන් දක්නාහ. බොහෝ දෙනා පැවිද්දන් ඇසුරු කොට ඔවුන්ගේ උපදෙස් අනුව සුරාපානාදි පරිහානි කර දේ හැර දැහැමින් දිවි පවත්වා මෙලොව දියුණුව ලබන්නාහ. තවත් සමහරු පැවිද්දන් ගෙන් සිප්සතර උගෙන දියුණු වන්නාහ.
සිල්වත් ගුණවත් පැවිද්දකු වශයෙන් බුදුසස්නෙහි ජීවත් වීමෙන් තමාටත් බුදුසස්නටත් ලෝකයාටත් මහත් යහපතක් සිදුවන බව සලකා පැවිද්දට පැමිණෙන්නා වූ ද පැමිණ ඉන්නා වූ ද සැම දෙනා විසින් සිල්වත් ගුණවත් පැවිද්දන් සැටියට ජීවත් වීමට උත්සාහ කළ යුතුය.
මේ සස්නෙහි උසස් පැවිද්දන් වශයෙන් කියයුත්තෝ ධ්‍යානමාර්ගාධිගම ධර්ම ලබා ඇති පැවිද්දෝය. මෙකල එතරම් උසස් තත්ත්වයට පැමිණි පැවිද්දන් සුලභ නැත. එහෙත් අද එබඳු පැවිද්දන් ලෝකයේ කොතැනකවත් නැතය කියා නිගමනයක් ද නො කළ හැකිය. වර්තමාන පැවිද්දන්ගේ වශයෙන් කියනවා නම්, මහත් මහත් සිකපද කඩා මහණකම නසා නො ගත්, හැම සික පදයක් ම රකින්නට උත්සාහ කරන, කැඩුණු සිකපදවලට ප්‍රතිකාර කර ගැනීම ඇති, තමා අයත් වත පිළිවෙත අඩු නො කොට කරන, බණදහම් උගෙනීම උගැන්වීම බණ පිරිත් කීම භාවනා කිරීම යනාදි ශ්‍රමණ කෘත්‍යයන්හි යෙදෙන හැකිතාක් තෘෂ්ණා මානාදි කෙලෙසුන් තුනී කරගෙන සිටින මෛත්‍රී කරුණාදි ගුණ ධර්ම දියුණු කර ගෙන සිටින පැවිද්දා, නිත්‍ය වාසයට තැනක් නැති ව දායක පිරිසක් නෑ පිරිසක් ධනයක් නැති ව තැනින් තැන ඇවිදිමින් ජීවත් වන අසරණයකු වුව ද උසස් පැවිද්දකු බව කිය යුතුය. පැවිද්දන්ගේ උසස්කම මැනිය යුත්තේ ශීලාදි ගුණධර්මවලින් මිස තනතුරු උපාධි වත්පොහොසත්කම් ආදියෙන් නො වන බව සැලකිය යුතු ය.
මිනිසුන් පහදවා සැලකිලි ලැබීම සඳහා කුහකකම් නො කරන, ප්‍රත්‍යය සෙවීම සඳහා වෙනත් නො මනා වැඩ නො කරන, අවංක ව මහණ දම් පුරණ පැවිද්දාහට චීවරාදි ප්‍රත්‍යය හිඟ විය හැකිය. ගිය ගිය තැන අවමන් කරන අය මිස සලකන අය අඩු විය හැකිය. ඒ නිසා ඔහුට ඒ ජීවිතය කලක් පවත්වා ගැනීමට අපහසු වන්නේ ය. කලක් ඉතා හොඳින් මහණකම් කළ පැවිද්දන් කලකදී වෙනස් වන්නේ ඉහත කී අමාරුකම් නිසා ය. අපහසුකම්වලදී වුව ද අකැප ලෙස ප්‍රත්‍යය සොයන අපහසුකම් නිසා විකාලභෝජනාදි ඇතැම් සික පද කඩන පැවිද්දාහට උසස් පැවිද්දකු නො විය හැකි ය. උසස් පැවිද්දකු වීමට නම් සැම අපහසුවකට ම ඔරොත්තු දෙන පරිදි තමාගේ සිත කය දෙක ම සකස් කර ගත යුතු ය.
සියුමැලි කය ප්‍රතිපත්තියට මහත් බාධාවෙකි. කය සියුමැලි වූ තරමට වුවමනා දේ වැඩි වෙයි. කයට ප්‍රතිකාර සඳහා ඒවා සොයන්න යන්නහුට සුදුසු පරිදි නොලැබෙන කල්හි නුසුදුසු ලෙස ද යම් යම් දේ සපයන්නට සිදුවෙයි. එසේ නො වීමට නම් අව්ව වැස්ස පින්න යන මේවාට ඔරොත්තු දෙන ලෙස ද ඕනෑම කාලගුණයකට ඔරොත්තු දෙන ලෙස ද ඕනෑම රූක්ෂ ආහාරයකින් ජීවත් විය හැකි වන ලෙස ද, ඕනෑ ම අප්‍රණීත භෝජනයක් වැළඳිය හැකි වන ලෙස ද, පථ්‍යාපථ්‍ය විශේෂයක් නො මැති ව කිනම් අහරකින් වුවත් ජීවත් විය හැකි ලෙස ද වුවමනා පමණට ආහාර නො ලැබුව ද ජීවත් විය හැකි ලෙස ද, මැසි මදුරු උවදුරුවලට ඔරොත්තු දෙන ලෙස ද ශරීරය සකස් කර ගත යුතු ය.
හින්දු යෝගීහු ව්‍යායාමවලින් ශරීරය සකස් කර ගනිති. ඒ ව්‍යායාම පුරුදු කිරීමේ සිරිත බෞද්ධ භික්ෂූන් අතර තුබූ බවක් පොතපතෙහි සඳහන් වී නැත. එහෙත් බෞද්ධ භික්ෂූන්ට වුවද ශරීරය සකස් කර ගැනීමට ඒ ව්‍යායාම භාවිතය ද නරක නැත. ඒ ව්‍යායාම නො කළ ද සක්මන - පිඬු සිඟා යෑම, වත පිළිවෙත කිරීම යන ව්‍යායාමවලින් ද ශරීරය බොහෝ දුරට සකස් කරගත හැකිය. ශරීරය සකස් කරන්නා වූ තැනැත්තා විසින් තද අසුන්වල හිඳීම, සැතපීම පුරුදු කර ගත යුතුය. එලිමහනේ හිඳීම සැතපීම පුරුදු කර ගත යුතුය. ගිලන්පස වර්ග පාවිච්චි නො කොට ඇල් වතුර බීම පුරුදු කර ගත යුතුය. පමණ දැන ආහාර ගැනීම කළ යුතුය. කාලයෙහි වුව ද වරින් වර යම් යම් ආහාර නො වැළඳිය යුතුය. තේ කෝපි ආදි පැණිරස වර්ග ගිලන්පස වශයෙන් නිතර පාවිච්චි කරන්නට පුරුදු කරගෙන තිබීම ද ශරීරයට අහිතය.
පුරාණ භික්ෂූන් අතර වර්තමාන භික්ෂූන් ලෙස ගිලන්පස වළඳන සිරිතක් තිබී නැත. උන් වහන්සේලා පිපාසය සන්සිඳවා ගැනීමට පාවිච්චි කර තිබෙන්නේ ඇල්දිය ය. ඒ බව වත් ගැන කියන තැන්වල බොන තැන් තැබිය යුතු බව දක්වා තිබීමෙන් පැහැදිලිය. ආගන්තුකයකු පැමිණි කල්හි බීමට පැන් මිස ගිලන් පසක් දිය යුතු බවක් වත්තක්ඛන්ධකයෙකි සඳහන් වී නැත. “පානීයේන පුච්ඡන්තේන සචේ සකිං ආනීතං පානීයං සබ්බං පිවති පුන ආනේමීති පුච්ඡිතබ්බෝ” යනුවෙන් ආගන්තුකයා ගෙන් පැන් විචාරන්නා වූ භික්ෂුව විසින් වරක් ගෙන ආ පැන් සියල්ල ආගන්තුකයා පානය කළහොත් දෙවනුවත් පැන් ගෙනෙන්න දැයි විචාළ යුතු බව විනය අටුවාවෙහි දක්වා තිබීමෙන් පෞරාණික භික්ෂූන් පිපාසය සන්සිඳුවා ගැනීමට ඇල්දිය මිස, තේ කෝපි ආදිය පාවිච්චි නො කළ බව හොඳට ම පැහැදිලි ය. නිතර ගිලන්පස වැළඳීමේ සිරිත බුරුම භික්ෂූන් අතර ද නැත. එහි ආගන්තුකයන්ට දෙන්නේ ද ඇල්දිය ය.
බුලත් දුම්කොළ සැපීමට හා දුම් බීමට පුරුදු වී තිබීමත් පැවිද්දන්ට තරමක බාධාවකි. ගිය ගිය තැන පහසුවෙන් ලැබෙන බැවින් බුලත් සැපීමේ පුරුද්ද එතරම්ම අහිතකර නොවේ. එහෙත් දුම් බීමට වුවමනා දුම් වැටි ආදිය ගිහියන් විසින් පැවිද්දන්ට නිතර නොදෙන බැවින් ඒවා පැවිද්දන්ට තමන් විසින් ම සොයා ගන්නට සිදුවේ. පුරුදු වී ඇති තැනැත්තාට ඒවා නැති ව සිටිය නො හැකිය. එබැවින් දුම් බීමේ පුරුද්ද ඇති පැවිද්දා සුරුට්ටු ආදිය දැහැමින් නො ලැබෙන කල්හි නො මනා අකප්පිය ක්‍රමවලින් ඒවා සොයන තැනට පැමිණේ. එබැවින් දුම් බීම පුරුදු කරගෙන තිබීම උසස් පැවිද්දකු වීමට ඉමහත් බාධාවක් බව කිය යුතුය.
සිත සකස් කර ගැනීම නම් ලෝභාදි කෙලෙසුන් තුනී කර ගැනීම හා අල්පේච්ඡතාදි ගුණධර්ම ඇති කර ගැනීමත් ය. පැවිද්දන් විසින් භාවිත කළ යුතු ධර්ම උගෙන ඒවා නිතර භාවිත කිරීමෙන් සිත සකස් කර ගත හැකි ය. බොහෝ ප්‍රත්‍යය සොයන, ප්‍රණීත ප්‍රත්‍යය සොයන, ගරුබුහුමන් කීර්ති ප්‍රශංසා සොයන තණ්හාව, උසස් පැවිද්දකු වීමට ඇති මහත් ම බාධාවය. පැවිදි ව හොඳින් ජීවිතය පවත්වා ගත හැකි වීමට නම් චීවරාදි ප්‍රත්‍යයන් ගැන ලැබුණු සැටියකින් සතුටු වන්නට පුරුදු විය යුතු ය. ප්‍රත්‍යයන් ගැන දම්සෙනවි සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් වදාරා ඇති මේ ගාථා පාඩම් කර ගෙන භාවිත කිරීම පැවිද්දන්ට ඉතා ප්‍රයෝජනවත් ය.
“අල්ලං සුක්ඛං වා භුඤ්ජන්තෝ න බාළ්හං සුහිතෝ සියා ඌනූදරෝ මිතාහාරෝ සතෝ භික්ඛු පරිබ්බජේ”
ප්‍රණීත වූ රූක්ෂ වූ හෝ ආහාරය වළඳන්නා වූ භික්ෂුව විසින් හොඳට ම කුස පිරෙන සේ නො වැළඳිය යුතුය. මහණනු විසින් පමණට ආහාර වළඳන්නකු ව තදින් නොපිරුණු සැහැල්ලු කුස ඇති ව ප්‍රත්‍යවේක්ෂා සිහියෙන් යුක්තව වාසය කළ යුතුය.
“චත්තාරෝ පඤ්ච ආලෝපේ අභුත්වා උදකං පිවේ,
අලං ඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනෝ.”
කුසයට ඇතුළු කළ හැකි ප්‍රමාණයෙන් බත් පිඬු සතර පසක් අඩුවෙන් වළඳා පැන් බිය යුතුය. නිවනට යොමු කළ සිත් ඇති මහණහුගේ සැප විහරණයට එසේ වැළඳීම ප්‍රමාණවත් ය.
“කප්පියං තං වේ ඡාදේති චීවරං ඉදමත්ථිතං,
අලං ඵාසුවිහාරාය පහිතත්තස්ස භික්ඛුනෝ.”
තමාට ලැබී ඇති සිවුර කැප එකක් වේ ශරීරයේ වැසිය යුතු තැන් වැසිය හැකියක් වේ නම් ශීත නැසීම් ආදි ප්‍රයෝජන ලැබිය හැක්කේ ය. ඒ සිවුර නිවනට යොමු කළ සිත් ඇති පැවිද්දාගේ සැප විහරණයට ප්‍රමාණවත් ය.
“පල්ලංකේන නිසින්නස්ස ජණ්ණුකේනාභිවස්සති,
අලං ඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනෝ.”
පර්‍ය්‍යංකයෙන් හිඳිනහුගේ දණ දෙක නො තෙමේ නම් එපමණට කුඩා කුටිය ද නිවනට යොමු කළ සිත් ඇති මහණහුගේ සැප විහරණයට ප්‍රමාණවත් ය.
සිත සකස් කර නො ගත් අධික තෘෂ්ණාව ඇති පැවිද්දාට කොතෙක් ප්‍රත්‍ය ලදත් සෑහීමක් නොවන්නේය. “මේ කබල් සිවුරු හැඳ පොරවා ලජ්ජා නැති ව මා ඉන්නේ කෙසේද? තැනකට යන්නේ කෙසේ ද? මෙබඳු ආහාරවලින් මා ජීවත් වන්නේ කෙසේද? මේ කබල් ආවාසයට කෙනකු පැමිණි විට මා ලජ්ජා නැති ව ඉන්නේ කෙසේද? ආගන්තුකයකු පැමිණිය හොත් මා අසුනක් දෙන්නේ කෙසේ ද? මුදලක් ලැබිය හැකි ක්‍රමයක් නැති මට රෝගයක් වුව හොත් මැරෙන්නට සිදු වෙනවා නො වේ ද? ගමනක් වත් යන්නට සිදු වුව හොත් මා කරන්නේ කුමක් ද? යනාදීන් නැති බැරිකම් සිතමින් සිත සකස් කර නො ගත් පැවිද්දා නිතර දුක් වන්නේ ය. ඒ නිසාම ඔහුගේ ශරීරය ද කෘශ වන්නේ ය. දුර්වර්ණ වන්නේ ය. සමහර විට රෝග ද වැලඳෙන්නේ ය. අධික තණ්හාව නිසා කලක් එසේ තැවි තැවී සිට ඒ පැවිද්දා ක්‍රමයෙන් නො මගින් ප්‍රත්‍යය සපයන්නෙක් වන්නේය. සිත සකස් කර ගෙන වෙසෙන පැවිද්දා නැති බැරිකම් ගැන නො තැවෙන්නේ ය. හේ යම්තම් දෙයකින් ලැබෙන සැටියකින් යැපී තමාගේ ශීලාදි ගුණධර්ම උසස් කොට සලකා ගෙන ප්‍රීතියෙන් ජීවත් වන්නේ ය. මහ වනයන්හි ජීවත් වන ලුණු ඇඹුල් නො ලබන පිසූ අහරක් නො ලබන වනයෙහි ඇති පලවැලයෙන් ජීවත් වන තවුසන්ට නිරෝගී ව බෝකල් ජීවත් විය හැක්කේ ඔවුන් සිත සකස් කර ගෙන ප්‍රීතියෙන් ජීවත් වන නිසාය. සිත සකස් කර ගෙන ඉන්නා පැවිද්දාට ප්‍රත්‍යය අඩු කර ගත් පමණට සැප ය.
මහබෝසත් තේමිය කුමාරයන් පැවිදි ව වනයෙහි වෙසෙන කල්හි දිනක පිය රජතුමා උන් වහන්සේ දක්නට එහි ගියේ ය. බෝසතාණන් වහන්සේගේ වාසස්ථානයත් උන් වහන්සේ වළඳන ආහාරත් දැක රජතුමා පුදුම වී “කිසිවකු නැති මේ වන මැද එකලා ව වෙසෙමින් මෙබඳු ආහාරයකින් ජීවත් වන ඔබ ගේ ශරීරය මෙතරම් පැහැපත් ව පවත්නේ කෙසේදැ”යි විචාළේ ය. එකල්හි බෝසතාණන් වහන්සේ මෙසේ වදාළහ.
“ඒකෝ රාජ, නිපජ්ජාමි නියතේ පණ්ණසන්ථතේ.
තාය මේ ඒකසෙය්‍යාය රාජ, වණ්ණෝ පසීදතී.”
රජතුමනි, අතුරන ලද කොළ ඇතිරියෙහි තනිව නිදමි. රජතුමනි; ඒ තනි ව නිදීමෙන් ශරීරය පැහැපත් වන්නේය.
“න චේ නෙත්තිංසබන්ධා මේ රාජරක්ඛා උපට්ඨිතා,
තාය මේ සුඛසෙය්‍යාය රාජ, වණ්ණෝ පසීදති.”
රජතුමනි, කඩු ගත්තා වූ රාජාරක්ෂකයෝ මා කරා එළඹ නොසිටින්නාහුය. තනි ව නිදන ඒ සැප නින්ද නිසා ශරීර වර්ණය පැහැපත් වන්නේය.
“අතීතං නානුසෝචාමි නප්පජප්පාමි නාගතං,
පච්චුප්පන්නේන යාපේමි තේන වණ්ණෝ පසීදති.”
මම අතීතය ගැන ශෝක නොකරමි. අනාගත ප්‍රාර්ථනයක් ද නො කරමි. වර්තමානයෙන් යැපෙමි. එයින් ශරීරවර්ණය පැහැපත් වන්නේ ය.
“අනාගතප්පජප්පාය අතීතස්සානුසෝචනා,
ඒතේන බාලා සුස්සන්ති නළෝව හරිතෝ ලුතෝ.”
අනාගතය ගැන පැතීම නිසා ද, අතීතය ගැන ශෝක කිරීම නිසා ද බාලයෝ කපා අව්වේ දැමූ බට දඬු සේ වියළෙන්නාහ.
මේ කරුණු සලකා ප්‍රත්‍යයට ගිජු නොවී තමන්ගේ ප්‍රතිපත්තිය ම උසස් කොට සලකමින් ප්‍රත්‍යය කොතරම් මඳ වුවද ඒ නිසා සිකපද නො බිඳ ජීවත් වන්නට පැවිද්දන් පුරුදු කරගත යුතුය.
“දුක්කරං දුත්තිතික්ඛඤ්ච අඛ්‍යත්තේන හි සාමඤ්ඤං
බහූ හි තත්ථ සම්බාධා යත්ථ බාලෝ විසීදතී.”
සිත කය සකස් කර නො ගත් බාලයාහට මහණකම දුෂ්කරය. නො ඉවසිය හැකිය. නො පැවැත්විය හැකිය. බාලයා පසුබසින්නා වූ ඒ අමාරුකම් ඒ පැවිද්දෙහි බොහෝ ය.
“කතීහං චරෙය්‍ය සාමඤ්ඤං චිත්තං චෙ න නිවාරයේ
පදේ පදේ විසීදෙය්‍ය සංකප්පානං වසානුගෝ.”
ඉදින් කාමයන් කරා යන සිත නො නවත්වා ගත්තේ නම් ඒ පැවිද්දා කෙදිනක් මහණකම් කරන්නේ ද? වරින් වර ඇති වන නො මනා කල්පනාවන්ගේ වසඟයට පැමිණෙන්නා වූ ඒ පැවිද්දා කරුණක් පාසා පියවරක් පාසා ශ්‍රමණ ධර්මයෙහි පසු බසින්නේ ය. ඉදිරියට නො ගොස් නවතින්නේ ය.
පැවිද්දන් විසින් ජීවිතයට නො දෙවෙනි කොට තමන් ගේ ශීලය ආරක්ෂා කළ යුතුය. ශීලය බිඳී අශ්‍රමණ භාවයට පත් වූ තැනැත්තකු විසින් සිල්වත් පැවිද්දන් අතර සිල්වතකු සැටියට පෙනී සිටීමත් සැදැහැතියන් විසින් සිල්වත් බව සලකා කරන වන්දනාව පිළිගැනීමත්, තථාගතයන් වහන්සේ විසින් සිල්වතුන්ට පමණක් අනුදැන වදාළ සිවු පසය පරිභෝග කිරීමත්, සිල්වත් පැවිද්දන් ගෙන් ගරු බුහුමන් ලැබීමත්, විනය කර්මවලට සහභාගී වීමත් ඉතා බරපතළ කරුණුය.
“කුසෝ යථා දුග්ගහිතෝ හත්ථමේවානුකන්තති.
සාමඤ්ඤං දුප්පරාමට්ඨං නිරයාය උපකඩ්ඪති.”
(ධම්මපද නිරයවග්ග)
“නොමනා කොට ගන්නා ලද කුසතණය යම් සේ අත කපා ද එමෙන් නො මනා කොට ගන්නා ලද පවත්වන ලද පැවිද්ද ඒ පුද්ගලයා නරකයට ඇද දමාය” යනු එහි තේරුමය.
දුශ්ශීල මහණකු විසින් සැදැහැතියන් කරන වැඳීම පිළිගැනීම කෙණ්ඩා දෙක්හි ශක්තිමත් රැහැනක් වෙළා බලවත් පුරුෂයන් දෙදෙනකු විසින් සම් මස් නහර ඇට කැපෙන තුරු දෑතට ඇදීමෙන් වන දුකට ද, තියුණු වූ පිහියකින් හෝ කිනිස්සකින් පපුවට ඇනීමෙන් වන දුකට ද වඩා නපුරු දරුණු දුකකට හේතුවක් බව තථාගතයන් වහන්සේ විසින් අග්ගික්ඛන්ධෝපම සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.
තවද දුශ්ශීලව හිඳ සැදැහැතියන් දෙන සිවුරු හැඳ පෙරවා සිටීම ගිනියම් වූ යකඩ තහඩුවක් කයෙහි වෙළීමෙන් වන දුකට වඩා නපුරු දරුණු දුකකට හේතු වන බවත්, සැදැහැතියන් දෙන ආහාර වැළඳීම ගිනියම් වූ අඬුවකින් කට හරවා ගිනියම් වූ ලොහොගුළි දැමීමෙන් වන දුකට වඩා නපුරු දුකකට හේතු වන බවත්, සැදැහැතියන් දෙන ඇඳ පුටුවල හිඳීම, ගිනියම් වූ යකඩ ඇඳ පුටුවල හිඳවීමෙන් නිදි කරවීමෙන් වන දුකට වඩා මහත් දුකකට හේතු වන බවත්, දුශ්ශීල ව හිඳ සැදැහැතියන් විසින් කරවා දුන් පන්සල්වල විසීම, පය උඩටත් හිස යටටත් සිටින සේ කකියන ලෝදිය සැළක බහා ලීමෙන් වන දුකට වඩා මහත් වූ දුකකට හේතු වන බවත් අග්ගික්ඛන්ධෝපම සූත්‍රයේ වදාරා ඇත්තේ ය.
විසුද්ධිමග්ගයෙහි එන මේ ගාථා පෙළ පාඩම් කර ගැනීම මැනවි.
“අභිවාදන සාදියනේ
කිං නාම සුඛං විපන්නසීලස්ස,
දළ්හවාළ රජ්ජුඝංසන
දුක්ඛාධිකදුක්ඛස්ස යං හේතු,”
දුශ්ශීලයාහට අනුන්ගෙන් වැඳුම් ගැනීමෙහි කිනම් සුවයෙක් ද? ඒ වැඳුම් ගැනීම, වල්ගා කෙඳිවලින් ඇඹරූ දැඩි යොතක් කෙණ්ඩාවල පටලවා දෑතට ඇදීමෙන් වන දුකට වඩා මහත් දුකකට හේතුවකි.
“සද්දානමඤ්ජලීකම්ම
සාදියනේ කිං සුඛං අසීලස්ස,
සත්තිප්පහාර දුක්ඛා -
ධිමත්ත දුක්ඛස්ස යං හේතු.”
සැදැහැතියන් දෙ අත් ඔසොවා කරන වැඳීම ඉවසීමෙහි සිල් නැතියහුට කිනම් සුවයෙක්ද? ඒ වැඳුම් ඉවසීම පපුවට දෙන සැත් පහරකින් වන දුකට වඩා මහත් දුකකට හේතුවෙක.
“චීවර පරිභෝග සුඛං
කිං නාම අසඤ්ඤතස්ස,
යේන චිරං අනුභවිතබ්බා
නිරයේ ජලිත අයෝපට්ටසම්ඵස්සා.”
හික්මීමක් නැත්තහුට සිවුරු පරිභෝග කිරීමෙහි කිනම් සුවයෙක් ද? ඔහු චිරකාලයක් නරකයෙහි ගිනියම් වූ යකඩ තහඩුවල පහස අනුභව කළ යුතු ය.
“මධුරෝ පි පිණ්ඩපාතෝ
හලාහලවිසූපමෝ අසීලස්ස,
ආදිත්තා ගිලිතබ්බා
අයෝගුළා යෙන චිරරත්තං.”
මිහිරි වූ ද ආහාරය සිල් නැතියහුට හලාහල විෂයක් බඳු ය. ඔහු චිර කාලයක් නරකයෙහි ගිනියම් වූ ලොහොගුළි ගිලිය යුතුය.
“සුඛසම්මතෝ පි දුක්ඛෝ
අසීලිනෝ මඤ්චපීඨපරිභෝගෝ,
යං බාධිස්සන්ති චිරං
ජලිත අයෝමඤ්චපීඨානි.”
සැපය යි සම්මත වූ ද ඇඳ පුටු පරිභෝගය සිල් නැත්තහුට දුකෙක. ඔහුට චිර කාලයක් නරකයෙහි ගිනියම් වූ ඇඳ පුටු පීඩා කරන්නේ ය.
“දුස්සීලස්ස විහාරේ
සද්ධාදෙය්‍යම්හි කා නිවාස රති,
ජලිතේසු නිවසිතබ්බං
යේන අයෝකුම්භි මජ්ඣෙසු.”
දුශ්ශීලයාහට සැදැහැවතුන් දුන් විහාරයෙහි වාසය කිරීමෙහි කිනම් සතුටක් ද? ඔහු ගිනියම් වූ ලෝදිය සැළි තුළ විසිය යුතුය.
“සංකස්සර සමාචාරෝ
කසම්බුජාතෝ අවස්සුතෝ පාපෝ,
අන්තෝ පූති ච යං
නින්දන්තෝ ආහ ලෝකගරු.”
ඒ දුසිල් මහණාට නින්දා කරන තථාගතයන් වහන්සේ දුසිල් මහණා සැක කළ යුතු පැවතුම් ඇතියෙ කැ යි ද, සිල්වතුන් විසින් බැහැර කරන කසළයෙකැයි ද, දුසිල් බැවින් ඇතුළ කුණු වූවෙකැයි ද, ෂඩ්ද්වාරයෙන් ගලන කෙලෙසුන් නිසා පිටත තෙත් වූවෙකැයි ද, පාපියෙකැයි ද වදාළ සේක.
“ධිජ්ජිවිතං අඤ්ඤස්ස
තස්ස සමණානවේසධාරිස්ස,
අස්සමණස්ස උපහතං
ඛතමත්තානං වහන්තස්ස.”
ගුණ නසා ගත්තා වූ ගුණ සාරා දැමු ආත්මයක් දරන්නා වූ අශ්‍රමණ වූ ඒ ශ්‍රමණ වේශධාරියා ගේ අවාසනාවත් ජීවිතය පිළිකුලෙක.
“ගූථං විය කුණපං විය
මණ්ඩනකාමා විවජ්ජයන්තීධ,
යං නාම සීලවන්තෝ
සන්තෝ කිං ජීවිතං තස්ස”
සැරසෙනු කැමතියන් අසුචිය වර්ජනය කරන්නාක් මෙන් මළ කුණ වර්ජනය කරන්නාක් මෙන් සිල්වත් වූ සත්පුරුෂයෝ යමකු වර්ජනය කෙරෙත් ද: ඔහුගේ ජීවිතය කුමට ද?
සබ්බ භයේහි අමුත්තෝ
මුත්තො සබ්බේහි අධිගම සුඛෙහි,
සුපිහිතසග්ගද්වාරෝ
අපායමග්ගං සමාරූළ්හෝ.”
“කරුණාය වත්ථුභූතෝ
කාරුණිකජනස්ස නාම කෝ අඤ්ඤෝ,
දුස්සීලසමෝ දුස්සීලතාය
ඉති බහුවිධාපි දෝසා.”
සකල භයයන්ගෙන් නොමිදුණා වූ, සකල අධිගම සුඛයන්ගෙන් මිදුණා වූ, වසන ලද ස්වර්ගද්වාර ඇත්තා වූ, අවාමගට බැස ගත්තා වූ, කාරුණික ජනයා ගේ කරුණාවට වස්තු වන පුද්ගලයා දුස්සීලයා හැර අන් කවරෙක් වේද? මෙසේ දුශ්ශීලයා ගේ බහුප්‍රකාර දෝෂයෝ කියන ලද්දාහ.
අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කර ඇත්තේ ශ්‍රමණත්වයෙන් සම්පූර්ණයෙන් පිරිහී අශ්‍රමණභාවයට පැමිණ ශ්‍රමණයන් ලෙස පෙනී සිටින දුශ්ශීලයන් සඳහා ය. ඒ බව ඒ සූත්‍රයෙහි එන “අස්සමණෝ සමණ පටිඤ්ඤෝ” යනාදි වචනවලින් පෙනේ.
“ඒකවීසතිවිධාය අනේසනාය ජීවිකං කප්පෙන්තෝ අනිපකවුත්ති නාම හෝති, න පඤ්ඤාය ඨත්වා ජවිකං කප්පේති, තතෝ කාලකිරියං කත්වා සමණයක්ඛෝ නාම හුත්වා තස්ස සංඝාටිපි ආදිත්තා හෝති සම්පජ්ජලිතා”
යනුවෙන් කුඩා කුඩා සිකපද මඩින අනේසනාදියෙන් ජීවත් වන පැවිද්දන් ද මරණින් මතු ගිනි ගත් පා සිවුරු දරණ ශ්‍රමණ යක්ෂයන් වන බව මජ්ඣිම නිකායේ කන්දරක සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. කසුප් බුදුන් වහන්සේ ගේ සස්නෙහි නො මනා කොට මහණකම් කිරීමෙන් ප්‍රේතත්වයට පැමිණ ගිනි ගත් පාසිවුරු දරා හඬමින් ඉන්නා භික්ෂු භික්ෂුණී ශික්ෂමාන සාමණේර සාමණේරී ප්‍රේතයන් ගිජුකුළු පවුවෙහි සිටිනු ලක්ඛණ තෙරුන් වහන්සේ විසින් දුටු බව සංයුක්ත නිකායේ ලක්ඛණ සංයුක්තයේ දක්වා තිබේ. කරුණු මෙසේ හෙයින් නො මනා කොට මහණකම් කිරීම ඉතා භයානක බව දත යුතුය.
තථාගතයන් වහනසේ “අග්ගික්ඛන්ධෝපම සූත්‍රය” දේශනය කරන ලදුයේ චාරිකාවෙහි හැසිරෙන සමයක ය. ඒ සූත්‍රධර්මය අසා බියපත් වු සැට නමක් භික්ෂූහු උණු ලේ වමනය කළහ. “දිවි හිමියෙන් හොඳින් මහණදම් පිරීම දුෂ්කරය. අපට ගිහි බව ම මෙයට වඩා හොඳය” යි හැට නමක් සිවුරු හැර ගියහ. සැට නමක් සියලු කෙලෙසුන් නසා රහත් වූහ. ඒ සූත්‍ර දේශනාව භික්ෂූන් අතර ඉතා ඉක්මනින් පැතිර ගියේය. බොහෝ භික්ෂූහු ඒ දහම අසා “මේ බුදුසස්නෙහි දිවි හිමියෙන් ශීලය සම්පූර්ණ කර ගෙන විසීම දුෂ්කරය” යි සිවුරු හැර යන්නට පටන් ගත්හ. එකවර දස නම විසි නම පනස් නම සැට නම සියක් නම දහස නම බැගින් සිවුරු හැර යන්නට වූහ. පෙර භික්ෂූන්ගෙන් පිරී තිබූ විහාර පාලු විය.
තථාගතයන් වහන්සේ චාරිකාවෙන් පෙරළා දෙව්රම් වෙහෙරට වැඩ වදාරා දෙසතියක් විවේකී ව වැඩහිඳ, ඉක්බිති අනඳ මහතෙරුන් වහන්සේ සමග විහාර චාරිකාවෙහි හැසිරෙන සේක් පාලු වූ විහාර දැක, තුනී වූ භික්ෂු සංඝයා දැක, නො සතුටින් වෙසෙන භික්ෂූන් දැක, “ආනන්දය, පෙර මා චාරිකාවෙන් පෙරළා ආ කල්හි මේ විහාර භික්ෂූන්ගෙන් පිරී පවත්නේය. අද මේ විහාර හිස් ව ඇත්තේ කිනම් කරුණකින් දැ” යි විචාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේට කාරණය සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “සාගරයට බැසීමට බොහෝ තොට ඇතුවාක් මෙන් මගේ සස්නෙහි භික්‍ෂූන්ට සැනසීමට බොහෝ කරුණු ඇත්තේය” යි වදාරා භික්ෂූන් රැස්කරවා චූළ අච්ඡරාසංඝාත සූත්‍රය වදාළ සේක.
“අච්ඡරාසංඝාතමත්තම්පි වේ භික්ඛවේ, භික්ඛු මෙත්තං චිත්තං ආසේවති අයං වුච්චති භික්ඛවේ, භික්ඛු අරිත්තජ්ඣානෝ විහරති සත්ථුසාසනකරෝ, ඕවාදපතිකරෝ අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති, කෝ පන වාදෝ යේ නං බහුලීකරොන්ති.”
මේ ඒ අච්ඡරාසංඝාත සූත්‍රය යි.
“මහණෙනි, ඉදින් මහණ අසුරක් ගසන තරම් කාලයෙහි වුව ද මෛත්‍රීචිත්තය සේවනය කෙරේ නම් (මෛත්‍රී භාවනාව කෙරේ නම්) මහණෙනි, හෙතෙමේ ධ්‍යානයෙන් නො තොරව වාසය කරයි, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය පිළිපදින්නේ වෙයි. ශාස්තෘන් වහන්සේ ගේ අවවාදය පිළිපදින්නේ වෙයි, හිස් නො වන පරිදි රටුන්ගෙන් ලැබෙන ආහාරය වළඳා ය” යනු සූත්‍රයේ තේරුම ය.
මේ සූත්‍රයෙන් දක්වන්නේ දිනපතා අසුරු ගසන තරම් කාලයක වුව ද යම් පැවිද්දෙක් මෛත්‍රී භාවනාව කෙරේ නම්, ඒ පැවිද්දා බුදුන් වහන්සේගේ අනුශාසනය අවවාදය අනුව පිළිපදින හිස් නොවන පරිදි රට වැසියාගෙන් ලබන ආහාර වළඳන පැවිද්දකු වන බව ය. යම්කිසි සැදැහැවතකු පින් ලබනු පිණිස පැවිද්දකුට ආහාරයක් දුන් කල්හි ප්‍රතිග්‍රාහකයා ගේ ගුණහීනත්වය නිසා දායකයාට එයින් උසස් පිනක් නො ලැබේ නම්, ඒ මහණනු ගේ ආහාර වැළඳීම හිස් එකකි. දායකයනට දීම මහත් ඵල වන්නේ ප්‍රතිග්‍රාහකයා කෙරෙහි ගුණ ඇති ඇති පමණට ය.
මෛත්‍රිය උසස් ගුණයෙකි. ශීලයෙහි යම් අඩුවක් ඇත ද මෛත්‍රී ගුණයෙන් එය මැකී යන්නේ ය. එබැවින් අපරිපූර්ණ සිල් ඇත්තා වූ ද මෛත්‍රී භාවනාව කරන පැවිද්දාට දෙන දානය මහත් ඵල වේ. දායකයනට මහත් ඵල වන බැවින් මෙත් වඩන පැවිද්දාගේ ආහාර වැළඳීම නො හිස් වැළඳීමකි. මෙත් වඩන පැවිද්දා ඒ මෙත් ගුණය නිසා පූජා සත්කාර ලැබීමට නිස්සෙක් වේ. “අච්ඡරාසංඝාතමත්තං කාලං මෙත්තං ආසේවන්තෝ භික්ඛු රට්ඨපිණ්ඩස්ස සාමි හුත්වා අණනෝ හුත්වා දායාදකෝ හුත්වා පරිභුඤ්ජති” යි “මෙත් වඩන පැවිද්දා රට වැසියන් දෙන ආහාරයට ස්වාමියකු වී, ණයගැතියකු නොවී, උරුමක්කාරයකු වී වළඳාය” යි ඒ සූත්‍රයේ අටුවාවෙහි දක්වා තිබේ.
පැවිද්දකුට තමාගේ ශීලය පිරිසිදු කර නො ගෙන සැදැහැතියන් දෙන භෝජනය වැළඳීමෙන් විය හැකි යම් දොසක් වේ නම්, මෙත් වඩන්නා වූ පැවිද්දාට ඒ දොස් සියල්ල ම නැති වන බව මේ “චූළ අච්ඡරාසංඝාත සූත්‍රය” අනුව කිය යුතු ය. එසේ ම චීවර සේනාසන ග්ලානප්‍රත්‍යයන් ගැන ද කිය යුතු ය. නිතර ම පිරිසිදු ශීලයෙන් යුක්ත වීම ඉතා දුෂ්කර ය. එබැවින් සියලු ම පැවිද්දන් විසින් දිනපතා මඳ වේලාවක් වුව ද මෙත් වැඩීම කළ යුතුය. මේ මෛත්‍රිය පැවිද්දන්ට ඇති පිහිටවලින් සැනසීමට ඇති කරුණුවලින් එකකි. වඳිනා අයට “සුවපත් වේවා” යනාදිය කීමත් මෙත් වැඩීමකි. පැවිද්දන් වඳින අයට එසේ මෙත් වඩන්නට පුරුදු කර ගෙන ඇත්තේ ද ශීලයේ අපරිශුද්ධත්වයක් තුබුණ හොත් වැඳුම් පිළිගැනීමෙන් වන දෝෂය දුරු වීමට ය. (ගතානුගතික ව කර ගෙන එනු මිස මේ කාරණය බොහෝ පැවිද්දෝ නො දනිති.)
අච්ඡරාසංඝාත සූත්‍ර බොහෝ ගණනක් ඇත්තේය. ඒ සියල්ල ම වදාරා ඇත්තේ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය නිමිති කොට ය. භාවනා සියල්ල ම ඒ ඒ සූත්‍රවලට ඇතුළත් වී තිබේ. එබැවින් කිනම් භාවනාවක් වුව ද කරන පැවිද්දා නිවරද ලෙස සැදැහැවතුන් දෙන සිවුපසය පරිභෝග කරන්නකු, වැඳුම් ලබන්නකු වන බව කිය යුතුය. බුදුගුණ සිහි කොට බුදුන් වැඳීම ද බුද්ධානුස්මෘති භාවනාව කිරීමෙකි. දහම් ගුණ සිහිකොට දහම් වැඳීම ධර්මානුස්මෘතිය වැඩීමෙකි. සඟ ගුණ සිහිකොට සංඝයා වැඳීම සංඝානුස්මෘතිය වැඩීමෙකි. බොහෝ පැවිද්දෝ දිනපතා රත්නත්‍රය වැඳීම කරති. එයින් ද භාවනාවක් සිදුවීමෙන් ඒ භවත්හු සැදැහැතියන් දෙන ප්‍රත්‍යය පරිභෝගයට සුදුස්සෝ වෙති. ඒ වන්දනාව ම ද ඒ භවතුන්ට මහත් පිහිටකි. සැනසීමට කරුණෙකි. එබැවින් දිනපතා රත්නත්‍රය වැඳීම නො කඩ කොට ආදරයෙන් කෙරෙත්වා!
“යේ තේ භික්ඛවේ, භික්ඛු නවා අචීරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තේ වෝ භික්ඛවේ, භික්ඛු චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපේතබ්බා නිවේසේතබ්බා පතිට්ඨපේතබ්බා.”
(සතිපට්ඨාන සංයුත්ත)
“මහණෙනි, අලුත පැවිදි වූ මේ ධර්මවිනයට අලුත ආවා වූ යම් ඒ භික්ෂූහු වෙත් ද, මහණෙනි, තොප විසින් ඒ භික්ෂූන් සතර සතිපට්ඨානයන් භාවනා කිරීමෙහි යෙදවිය යුත්තාහුය, සතිපට්ඨාන භාවනාවට ඇතුළු කර විය යුත්තාහුය, පිහිටවිය යුත්තාහුය” යනු එහි තේරුමය.
තථාගතයන් වහන්සේ විසින් අන් කිසිවක් සඳහන් නො කොට අලුත් පැවිද්දන් සතිපට්ඨාන භාවනාවෙහි යොදන ලෙස වදාරා තිබෙන්නේ පැවිද්දන් විසින් කළ යුතු ප්‍රධාන දෙය භාවනාව වන නිසාය. ගිහි ගෙය අවකාශ මඳ පහසුකම් මඳ තැනකි. පැවිද්ද වනාහි ජීවනෝපායක් වශයෙන් ඇති කරන ලද්දක් නොව තථාගතයන් වහන්සේ විසින් සසර දුකින් මිදෙනු රිසි කුලපුත්‍රයන් හට භාවනාවෙහි යෙදීම සඳහා විවේකයත් පහසුකමත් ඇති වනු සඳහා ඇති කරන ලද්දකි. ශ්‍රමණකෘත්‍යයි කියනුයේ භාවනාවටය. භාවනාව ශීලයෙහි පිහිටා කළ යුත්තකි. පැවිදි වූ තැනැත්තා ශීලයෙහි පිහිටීම් වශයෙන් භාවනා භූමිය සකස් කර ගත්තෙක් වේ. පැවිදි වූ තැනැත්තා විසින් සීලයෙහි පිහිටීම් මාත්‍රයෙන් නැවතුන හොත් එය කුඹුරු සකස් කොට වී නො වපුරා හැරීමක් වැනිය. පැවිද්දෙන් ලැබිය යුතු උසස් ප්‍රයෝජනය ලබන්නට නම් භාවනා කළ යුතුමය. උගෙනීම්, උගැන්වීම්, බණ පිරිත් කීම්, ගෝලයන් තැනීම්, පන්සල් රැකීම්, දියුණු කිරීම්, ප්‍රතිසංස්කරණය කිරීම්, සඟ සතු දේ ආරක්ෂා කිරීම්, ගිහියන්ගේ ආගමික වැඩවලට සහාය වීම් යන මේවා ද සර්වඥශාසනයේ චිරස්තිථිය පිණිස පැවිද්දන් විසින් කළයුතු ය. කුමක් කළත් පැවිද්දා විසින් භාවනාව නො හළ යුතු ය. දිනයේ භාවනාවට කාලයක් සෑම පැවිද්දකු විසින් ම වෙන් කර ගත යුතුය. අන් වැඩවල නො යෙදී මුළු කාලය ම භාවනාවට යොදන පැවිද්දා ගේ ජීවිතය වඩා සරු ය. අන් කුමක් කළත් භාවනාව නො කරන පැවිද්දාගේ ජීවිතය නිසරු ය.
භාවනාව හැර දමා තිබීම භික්ෂූන්ගේ තත්ත්වය පහළ වැටීමේ එක් හේතුවකි. මෙලොව ම අත් දැකිය හැකි බොහෝ අනුසස් භාවනාවෙහි ඇත්තේ ය. උත්පත්තියෙන් අවාසනාවත් පුද්ගලයෝ කලක් භාවනාවෙහි යෙදීමෙන් භාග්‍යවත් පුද්ගලයෝ වෙති. භාවනාවෙන් රාගාදි කෙලෙස් තුනී වේ. එයින් කෙලෙසුන් නිසා වන විපතින් මිදේ. ආත්ම ශක්තියක් නැති ඇතැම් පැවිද්දෝ පොහොසත් ගිහියන් උසස් ගිහියන් දුටු කල්හි නිකම්ම දැපනය වෙති. ඔවුනට අවනත වෙති. කයින් නො වැන්දත් සිතින් ඔවුනට වඳිති. රජකු ඉදිරියේ වුව ද හිස නො නමා පෙනී සිටිය හැකි ආත්ම ශක්තියක් තේජසක් භාවනාවෙන් ලැබේ. අනුන් කීකරු කර ගත හැකි වීමේ ශක්තියක් ද ලැබේ. තමාට වුවමනා චීවරාදි ප්‍රත්‍යයන් නිරුත්සාහයෙන් ම ලැබීමේ ශක්තියක් ද ලැබේ. නොයෙක් දේ තේරුම් ගත හැකි ගැඹුරු කරුණු නිවැරදි ලෙස තේරුම් ගත හැකි තියුණු ඥාන ශක්තියක් ද ලැබේ.
භාවනාවෙන් ලැබිය හැකි ඉහත කී අනුසස් ලැබිය හැකි වීමට නම් ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදිය යුතුය. භාවනා කරමි යි කියා යමක් පාඩම් කර ගෙන කී පමණකින් යම් කිසි විශේෂයක් දැකිය හැකි නො වන බව ද දත යුතු ය.
බුද්ධානුස්මෘති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුස්මෘති භාවනාව යන මේ සතර පැවිද්දන් විසින් නො හළ යුතු භාවනා සතරකි. සාමාන්‍යයෙන් දිනකට වරක් දෙකක් වුව ද ඒ භාවනා සිහි කරන්නා වූ පැවිද්දාහට එයින් ශ්‍රද්ධාවත් සසර කලකිරීමත් මහණ දම් පිරීමෙහි උනන්දුවත් ඇති වේ. ඒ භාවනා සතර පැවිද්දාට ආරක්ෂාවක් ද වේ. එබැවින් එයට “චතුරාරක්ෂාවය” යි ද කියනු ලැබේ. බුද්ධගුණාදිය ලෙහෙසියෙන් සිහි කළ හැකි වීම සඳහා පාඩම් කරගෙන භාවිතය සඳහා යම් කිසි පෞරාණිකාචාර්‍ය්‍යවරයකු විසින් විරචිත “චතුරාරක්ෂාවය” යන නමින් හැඳින්වෙන “බුද්ධානුස්සති මෙත්තා ච අසුභං මරණස්සති” යනාදි ගාථා පෙළක් ඇත්තේ ය. එය බොහෝ කලක පටන් ලක්දිව පැවිද්දෝ භාවිත කෙරෙති. සාමාන්‍ය භාවනාවක් වශයෙන් සජ්ඣායනය කිරීමට ඒ ගාථා පෙළ ඉතා යෝග්‍ය ය. ඒවා සජ්ඣායනා කිරීමේ නියම ප්‍රයෝජනය ලැබෙන්නේ ඒවායේ තේරුමත් දැන උගෙන සජ්ඣායනය කිරීමෙනි. එබැවින් තේරුම ද සහිත ව භාවනා ගාථා පෙළ දක්වනු ලැබේ.
බුද්ධානුස්මෘති භාවනාව
1. “සවාසනේ කිලේසේ සෝ ඒකෝ සබ්බේ නිඝාතිය,
අහූ සුසුද්ධසන්තානෝ පූජානඤ්ච සදාරහෝ”
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වාසනාව සහිත ව සකල ක්ලේශයන් නසා අතිශයින් ශුද්ධ සන්තාන ඇතියෝ ය. දෙවි මිනිසුන් විසින් කරනු ලබන අනේක ප්‍රකාර පූජාවන්ට ද සුදුසු වූ සේක.
2. “සබ්බකාලගතේ ධම්මේ සබ්බේ සම්මා සයං මුනි.
සබ්බාකාරේන බුජ්ඣිත්වා ඒකෝ සබ්බඤ්ඤුතං ගතෝ.”
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන සර්වකාලයන්ට අයත් සියලු ධර්මයන් තමන් වහන්සේ විසින් ම මනා කොට අවබෝධ කර එකලාව සර්වඥත්වයට පැමිණි සේක.
3. “විපස්සනාදි විජ්ජාහි සීලාදි චරණේහි ච,
සුසමිද්ධේහි සම්පන්නෝ ගගනාභේහි නායකෝ.”
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘධ වූ ආකාශය බඳු වූ විදර්ශනාඥානාදි විද්‍යාවන්ගෙන් ද ශීලාදි චරණධර්මයන්ගෙන් ද යුක්ත වන සේක.
4. “සම්මාගතෝ සුභං ඨානං අමෝඝවචනෝ ච සෝ,
තිවිධස්සා පි ලෝකස්ස ඥාතා නිරවසේසතෝ.
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරමසුන්දර නිර්වාණයට මනා කොට ගිය සේක. නො හිස් නො වරදින වචන ඇති සේක. ත්‍රිවිධ වූ ම ලෝකය නිරවශේෂයෙන් දැන වදාළ සේක.
5. අනේකේහි ගුණෝඝෙහි සබ්බසත්තුත්තමෝ අහූ
අනේකේහි උපායේහි නරදම්මේ දමේසි ච
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශීලාදි අනේක ගුණෝඝයන් කරණ කොට සකල සත්ත්වයන්ට උත්තම වූ සේක. අනේකෝපායයෙන් අදම්‍ය පුද්ගලයන් දමනය කළ සේක.
6. “ඒකෝ සබ්බස්ස ලෝකස්ස සබ්බඅත්ථානුසාසකෝ,
භාග්‍ය ඉස්සරියාදීනං ගුණානං පරමෝ නිධි.
ඒ භාග්‍යවතුන් වහන්සේ සකල ලෝකයාට අසහාය සකලාර්ථනුශාසකයන් වහන්සේ වූ සේක. භාග්‍ය ඓශ්වර්‍ය්‍යාදි ගුණයන්ගේ පරම නිධානය වූ සේක.
7. “පඤ්ඤාස්ස සබ්බධම්මේසු කරුණා සබ්බජන්තුසු,
අත්තත්ථානං පරත්ථානං සාධිකා ගුණජෙට්ඨිකා.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ සකල ධර්මයන් කෙරෙහි පවත්නා ප්‍රඥාව ද සකල සත්ත්වයන් කෙරෙහි පවත්නා මහා කරුණාව ද ආත්මාර්ථ පරාර්ථ දෙක සුදු කරන ප්‍රධාන ගුණ දෙකෙක.
8. “දයාය පාරමී චිත්වා පඤ්ඤායත්තානමුද්ධරී
උද්ධරී සබ්බධම්මේ ච දයායඤ්ඤේ ච උද්ධරී.”
ඒ භාග්‍යවතුන් වහන්සේ සකල සත්ත්වයන් කෙරෙහි පවත්නා මහා කරුණාවෙන් සමතිස් පෙරුම් දහම් සපුරා ප්‍රඥාවෙන් තමන් සසර සයුරෙන් නඟා ගත් සේක. සකල ධර්ම සමූහය ද දැන වදාළ සේක. කරුණාවෙන් අන්‍ය සත්ත්වයන් ද සසර සයුරෙන් ගොඩ නැගූ සේක.
9. “දිස්සමානෝ පි තාවස්ස රූපකායෝ අචින්තියෝ,
අසාධාරණඤාණඩ්ඪෙ ධම්මකායේ කථාව කා.”
ඇසට පෙනෙන්නා වූ ද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ රූපකාය ද අචින්ත්‍ය ය. අසාධාරණ ඥානයන්ගෙන් පොහොසත් වූ උන් වහන්සේ ගේ ධර්ම කායය ගැන කවර කථා ද? එය අචින්ත්‍යම ය.
මේ භාවනාව කරන්නහු විසින් මේ ගාථාවලින් නාම මාත්‍රයෙන් දැක්වෙන ඉතා ලුහුඬින් දැක්වෙන බුදු ගුණ අන් පොතකින් බලා ගැනීමෙන් හෝ ගුරුන්ගෙන් අසා ගැනීමෙන් හෝ විස්තර වශයෙන් තේරුම් ගත යුතු ය. මේ ගාථා සජ්ඣායනා කිරීමේ දී ශ්‍රද්ධාව ඇති වන්නේ ඒවා දැන ගෙන සිටින කල්හි ය.
මෛත්‍රී භාවනාව
1. සුඛී හවෙය්‍යං නිද්දුක්ඛෝ අහං නිච්චං අහං විය,
හිතා ච මෙ සුඛී හොන්තු මජ්ඣත්තාථ ච වේරිනෝ.
මම නිරන්තරයෙන් සැප ඇත්තේ වෙම්වා! දුක් නැත්තේ වෙම්වා! මා මෙන් මා හට හිත සත්ත්වයෝ ද මධ්‍යස්ථයෝ ද වෛරීහු ද සුවපත් වෙත්වා!
2. ඉමම්හි ගාමක්ඛෙත්තම්හි සත්තා හොන්තු සුඛී සදා,
තතෝ පරඤ්ච රජ්ජේසු චක්කවාළේසු ජන්තුනෝ.
මේ ගමෙහි සකල සත්ත්වයෝ සැම කල්හි සුවපත් වෙත්වා! එයින් ඔබ රාජ්‍යවල සක්වළ වල සත්ත්වයෝ ද සැම කල්හි සුවපත් වෙත්වා.
3. සමන්තා චක්කවාළේසු සත්තානන්තේසු පාණිනෝ
සුඛිනෝ පුග්ගලා භූථා අත්තභාවගතා සියුං.
මේ සක්වළ හාත්පස අනන්ත චක්‍රවාටයන්හි සියලු සත්ත්වයෝ සකල ප්‍රාණීහු සකල සත්ත්වයෝ සකල භූතයෝ සකල ආත්මභාව පර්‍ය්‍යාපන්නයෝ සුවපත් වෙත්වා!
4. තථා ඉත්ථි පුමා චේව අරියා අනරියා පි ච,
දෙවා නරා අපායට්ඨා තථා දසදිසාසු ච.
එසේ ම සියලු ස්ත්‍රීහු ද, පුරුෂයෝ ද, ආර්‍ය්‍යයෝ ද, අනාර්‍ය්‍යයෝ ද, දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද, අපායිකයෝ ද සුවපත් වෙත්වා! දශදිශාවෙහි සකල සත්ත්වයෝ ද සුවපත් වෙත්වා!
අශුභ භාවනාව
1. වණ්ණ සණ්ඨාන ගන්ධේහි ආසයෝ කාසතෝ තථා,
පටික්කූලානි කායේ මේ කුණපානි ද්වීසෝළස.
මාගේ ශරීරයෙහි ඇති මේ කේශාදි කුණප දෙතිස පැහැයෙන් ද සටහනින් ද ගණ්ධයෙන් ද ආශ්‍රයස්ථානයෙන් ද පිහිටි අවකාශයෙන් ද ප්‍රතිකූලයෝ ය.
2. පතිතම්හා පි කුණපා ජේගුච්ඡං කායනිස්සිතං,
ආධාරෝ හි සුචි තස්ස කාහේතු කුණපේ ඨිතෝ.
ශරීරයෙන් වෙන් ව වැටුණා වූ කුණපයට ද වඩා කයෙහි පවත්නා කුණපය පිළිකුල් ය. කුමක් හෙයින් ද යත්? වැටුණා වූ කුණපයා ගේ ආධාරය (පවත්නා තැන) පිරිසිදු ය. කයෙහි සිටි කුණපය වනාහි කුණපයෙහි ම පිහිටියේ ය. එහෙයිනි.
3. මීළ්හේ කිමිව කායෝ යං අසුචිම්හි සමුට්ඨිතෝ,
අන්තෝ අසුචි සම්පුණ්ණෝ පුණ්ණවච්චකුටී විය.
මේ කය අසූචියෙහි උපදනා පණුවකු මෙන් අසූචියෙහි ම හටගත් දෙයකි. පිරුණු වැසිකිළියක් සෙයින් ඇතුළ ද අසූචියෙන් පිරී ඇත්තේ ය.
4. අසුචි සන්දතේ නිච්චං යථා මේදකථාලිකා,
නානා කිමිකුලාවාසෝ පක්කචන්දනිකා විය.
සිදුරු ඇති අමුමස් සැළියකින් මෙන් මේ ශරීරයෙන් නිරන්තරයෙන් මලමුත්‍රාදි අසූචි ගලන්නේ ය. මේ ශරීරය පල් වූ ගවරවළක් සෙයින් නා නා කෘමීන්ගේ වාසස්ථානයක.
5. ගණ්ඩභූතෝ රෝගභූතෝ වණභූතෝ සමුස්සයෝ,
අතේකිච්ඡෝතිජේගුච්ඡෝ පහින්නකුණපූපමෝ.
මේ ශරීරය ගෙඩියක් වැනි ය. රෝගයක් වැනි ය. වණයක් වැනි ය. පිළියම් කිරීමට දුෂ්කර වූවක, ඉතා පිළිකුලෙක, තැනින් තැනින් බිඳුණු කුණපයක් වැනි ය.
මරණානුස්මෘති භාවනාව
1. මහාසම්පත්තිසම්පත්තා යථා සත්තා මතා ඉධ,
තථා අහං මරිස්සාමි මරණං මම හෙස්සතී.
මහාසම්පත්තියට පැමිණියා වූ සත්ත්වයෝ යම් සේ මළාහු ද එපරිද්දෙන් මම ද මැරෙමි. මට මරණය වන්නේ ය.
2. උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා,
මරණත්ථාය ඕකාසං වධකෝ විය ඒසති.
මේ මරණය උත්පත්තිය සමඟ ම ආ එකෙක. මාරයා සැම කල්හි ම මැරීම පිණිස අවකාශයක් වධකයකු මෙන් සොයන්නේ ය.
3. ඊසකං අනිවත්තන්තං සතතං ගමනුස්සුකං,
ජීවිතං උදයා අත්ථං සුරියෝ විය ධාවති.
සැම කල්හි ගමනට උත්සාහ කරන ඇසිල්ලකුදු නො නවතින ජීවිතය, උදා වීමෙහි සිට අන්තයට යන හිරු මෙන් ඉපදීමේ දී පටන් මරණය කරා දුවන්නේ ය.
4. විජ්ජුබුබ්බුල උස්සාව ජිලරාජි පරික්ඛයං,
ඝාතකෝව රිපූ තස්ස සබ්බත්තාපි අවාරියෝ.
විදුලියක් මෙන් දිය බුබුලක් මෙන් පිනි බිඳක් මෙන් දියෙහි ඇඳි ඉරක් මෙන් මේ ජීවිතය වහා ක්ෂය වන්නේය. මේ මරණය කවරාකාරයකින්වත් වැළැක්විය නො හෙන මරන්නට එන සතුරකු වැනි ය.
5. සුයසත්ථාම පුඤ්ඤිද්ධි බුද්ධි වුද්ධි ජිනද්වයං,
ඝාතෙසි මරණං ඛිප්පං කාතු මාදිසකේ කථා.
මහත් වූ යසසින් ද බලයෙන් ද පිනෙන් ද නුවණින් ද වැඩුණා වූ ලොවුතුරා බුදු පසේ බුදු දෙනම ද මේ මාරයා වහා නැසුවේය. මා වැනියන් මැරීම ගැන කවර කථා ද?
6. පච්චයානඤ්ච වේකල්‍යා බාහිරජ්ඣත්තුපද්දවා,
මරාමෝරං නිමේසාපි මරමානෝ අනුක්ඛණං.
ක්ෂණයක් පාසා සිදුවන නාම රූප බිඳීම නිසා ක්ෂණයක් පාසා මැරෙන්නා වූ මම ජීවත් වීමට වුවමනා ප්‍රත්‍යයන් නො ලැබී යෑමෙන් ද බාහ්‍යභ්‍යන්තරික උපද්‍රවයකින් ද ඇසිපිය හෙළීමකට ද කෙටි කලෙකදී මැරෙමි.
මේ මරණානුස්මෘති භාවනාවත් ගැඹුරු ය. මේවා ගුරුන් ගෙන් අසා විස්තර වශයෙන් දැන භාවනා කළ යුතුය. භාවනා පොත්වලින් හෝ මේවායේ විස්තරය බලා ගත යුතුය.
ආචාර්ය්‍යෝපාධ්‍යායාදීන් කරන අවවාදානුශාසනයන් ඒවාට පටහැණි නොවී, ප්‍රශ්න නො කර, ගෞරවයෙන් පිළිගන්නා බවත්, ධර්මය හා විනය ගෞරවයෙන් පිළිගන්නා බවත් සෝවචස්සතා ගුණය ය. එයට සුවච බව කීකරු බව යන නම් ද කියනු ලැබේ. මෙය පැවිද්දන් ගේ දියුණුවට හේතු වන ගුණයකි. මේ ගුණය විශේෂයෙන් ම නවක පැවිද්දන් කෙරෙහි තිබිය යුතු ය. මේ සස්නෙහි පැවිද්දකුට දියුණුව ලැබිය හැක්කේ ආචාර්ය්‍යෝපාධ්‍යායයන්ට කීකරු ව විසූ තරමට ය. අහංකාර වූ ඇතැම්හු ආචාර්ය්‍යෝපාධ්‍යායයන්ගේ අවවාදානුශාසනයන් පිළිගැනීමට නො කැමති වෙති. කිපෙන සුලු ඇතැම්හු වරද දක්වා අවවාද කරන කල්හි කිපෙති. ගුරුවරුන්ට පටහැණි වෙති. එබඳු පැවිද්දෝ මේ සස්නෙහි දියුණුවක් නො ලබති. ඔවුහු ආචාර්ය්‍යෝපාධ්‍යායයන් විසින් වර්ජනය කරන ලදුව රිසිසේ කලක් හැසිර සසුනෙන් පිහිටක් නොලබා කලක දී සිවුරු හැර යෙති. දෙලොවින් ම හෝ පිරිහෙති. බුදු සස්නෙහි පිහිටක් ලබනු කැමති, නිවන් පතා සසුන් වන් සැදැහැවත් කුල පුත්‍රයන් විසින් සැම කල්හි ආචාර්ය්‍යොප්ධ්‍යායයන්ට කීකරුව හැසිරිය යුතු ය. වරද දක්වා තමන්ට අවවාදානුශාසනා කරන ආචාර්ය්‍යොපාධ්‍යායයන් සතුරන් සේ හිරිහැර කාරයන් සේ කිසිකලක නොසැලකිය යුතු ය. වරද දක්වා අවවාද කරන ආචාර්ය්‍යවරයා කරදර කරුවකු නොව ශිෂ්‍යයාගේ පරම කල්‍යාණ මිත්‍රයෙකි. එබැවින් තථාගතයන් වහන්සේ විසින් -
“නිධීනං ව පවත්තාරං යං පස්සේ වජ්ජදස්සිනං,
නිග්ගය්හවාදිං මේධාවිං තාදිසං පණ්ඩිතං භජේ”
තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝති න පාපියෝ”
(ධම්මපදය පණ්ඩිත වග්ග)
යනු වදාරන ලදි.
ශිෂ්‍යයන්ගේ දියුණුව පතා වරද දුටු කල්හි තර්ජන කරමින් දඬුවම් දෙමින් ශිෂ්‍යයාට හට අවවාද කරන ආචාර්යවරයා දුගියකුට මහා නිධානයක් දක්වන්නකු නැති බවත්, දියුණුව පතන ශිෂ්‍යයන් විසින් එබඳු පණ්ඩිතයන් භජනය කළ යුතු බවත්, එබඳු පණ්ඩිතයන් භජනය කරන්නවුන්ට දියුණුවක් ම වන බවත්, පරිහානියක් නොවන බවත් මේ ගාථාවෙන් දැක්වේ.
සසුනෙහි දියුණුව පතන පැවිද්දන් විසින් රාහුල සාමණේරයන් මෙන්, වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් මෙන් ගුරුන්ට කීකරු ව හැසිරිය යුතුය. තථාගතයන් වහන්සේ ගේ ම දරුවකු වන “රාහුල” සාමණේරයන්ට උඩඟු වීමට කරුණු බොහෝ ඇත්තේය. එහෙත් “රාහුල සාමණේරයෝ” ඉතා ම නිහතමානී වෙති. දිනපතා උදෑසන දෝත පුරා වැලි ගෙන මේ වැලි කැට ගණනට මා හට තථාගතයන් වහන්සේගෙන් හා අචාර්ය්‍යෝපාධ්‍යායයන්ගෙන් අවවාදානුශාසනා ලැබේවා යි පතති. ඇතැම් භික්ෂූහු “රාහුල” සාමණේරයන් විමසනු පිණිස තැන්පත් කොට ඇති ඉදල් කූඩා මිදුලට දමා “රාහුල” සාමණේරයන් එන කල්හි “මේවා කාගේ වැඩ” දැ යි කථා කරති. තවත් අය “රාහුලයෝ ඔය පැත්තෙන් ගියහ. සිටියහ” යි කියති. ඒවා කියනු ඇසෙනු සමග ම “රාහුල සාමණේරයෝ” කිසිදු කතාවක් නැති ව ඒවා තැන්පත් කොට වැඩිමහල්ලන්ගෙන් ක්ෂමාව අයදිති. කිසි විටෙක ශුද්ධ වීමට කථා නො කරති. වැඩි මහලු භික්ෂූන් හා විවාදයට නො එළඹෙති. ඇතැම් පැවිද්දෝ කරන වරදක් දැක වැඩිහිටියකු අවවාදයක් කළහොත් “තමන් ගේ වැඩ බලා ගෙන සිටිනවා මිස කාගේවත් වැඩට ඇඟිලි ගසන්නට එන්න ඕනෑ නැත, අපේ වැඩ කර ගන්නා සැටි අපි දනිමු ය, ඔය පණ්ඩිත කම්වලින් අපට කමක් නැත” යනාදි වශයෙන් අවවාද කළ සත්පුරුෂයාට ගර්හා කරති. තර්ජනය කරති. ඒ වරද තව තවත් කරති. තමන් ගැන තමන් උසස් කොට සිතා සිටියත් එබඳු පුද්ගලයෝ මේ සස්නෙහි කසළයෝ ය.
එක් දවසක් සැරියුත් මහ තෙරුන් වහන්සේ හැඳ සිටි අඳනයෙහි කොනක් පහළට එල්ලෙමින් තිබිණ. සත් හැවිරිදි සාමණේර නමක් එය දැක, “ස්වාමීනි, නුඹ වහන්සේගේ අඳනයේ කොනක් එල්ලෙන්නේය” යි කීය. එකල්හි සැරියුත් මහත තෙරුන් වහන්සේ කිසි කථාවක් නො කොට පරිමණ්ඩල සිකපදය අනුව අඳනය හැඳ ඒ කුඩා නම වෙත පැමිණ ඇඳිලි බැඳ දැන් හොඳ දැයි කියා -
තදහු පබ්බජිතෝ සන්තෝ ජාතියා සත්තවස්සිකෝ,
සො ‘පි මං අනුසාසෙය්‍ය සම්පට්ච්ඡාමි මත්ථකේ.
(දේවපුත්ත සංයුත්තට්ඨකථා)
යන ගාථාව කීහ. “එදවස ම පැවිදි වූ සත් හැවිරිදි සාමණේර නමක් වුව ද මට අනුශාසනය කෙළේ නම් එය මම මුදුනෙන් පිළිගනිමිය” යනු එහි අදහස ය. කෙබඳු තත්ත්වයක සිටින කෙනකුගෙන් වුව ද යහපත් අවවාදයක් අනුශාසනයක් ලැබේ නම් එය ගෞරවයෙන් පිළිගැනීම උතුමන් ගේ ගුණයෙකි. කොනක් එල්ලෙන පරිදි අඳනය ඇඳ සිටීම පරිමණ්ඩල සිකපදයට විරුද්ධය. එබැවින් එය වරදෙකි. සාමණේර නම සැරියුත් මහ තෙරුන් වහන්සේට අඳනයේ කොනක් එල්ලෙන බව සැල කළේ එසේ අඳනය හැඳ සිටීම වරදක් නිසා විය හැකි ය. කුඩා සාමණේර නමක විසින් පෙන්වා දුන් වරද සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් ඉතා ගෞරවයෙන් පිළිගැනීම සියලු ම පැවිද්දන් විසින් ආදර්ශයට ගත යුතු ය.
වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් විසූයේ ලක්දිව බැමිණිතියා සාය නමින් ප්‍රසිද්ධ මහා දුර්භික්ෂය පැවති කාලයේ ය. ජීවත් විය නො හැක්කෙන් බොහෝ මනුෂ්‍යයෝ ගම් හැර කඳුකරයට වැද කැලෑ කොළ බුදිමින් ජීවත් වන්නට පටන් ගත්තෝ ය. බොහෝ භික්ෂූහු මහ සමුදුර තරණය කොට දඹදිවට යා ගත්හ.
වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් හා එතුමන් ගේ උපාධ්‍යායයෝ දඹදිව නො ගොස් ම මෙහි ම විසූහ. ඒ දෙනම ද “කොළ බුදින මිනිසුන් ඇසුරෙන් ජීවත් වන්නෙමු” යි ප්‍රත්‍යන්තය බලා ගමන් ගත්හ. ඒ දෙනමට සත් දිනක් ම කිසි අහරක් නො ලැබුණේය. සත් දිනකින් පසු සාමණේරයෝ පාලු ගමක තල් ගසෙක ගෙඩි දැක “ස්වාමීනි, මඳක් නවතිනු මැනව, තල් ගෙඩි කඩා වළඳමුය” යි උපාධ්‍යායයන්ට කීහ. උපාධ්‍යායයන් වහන්සේ “සාමණේරය, ඔබ දුබල ව සිටින්නෙහිය, තල් ගසට නො නැඟෙව” යි කීහ. “නැඟෙමි ස්වාමීනි” කියා සාමණේරයන් තල් ගෙඩි කපා හෙළන්නට තැත් කෙරෙත්ම පිහියා තලය ගැලවී බිම වැටිණ. මහතෙරුන් වහන්සේ දුබල ව ඉන්නා සාමණේර නම දැන් කුමක් කෙරේ දැ යි බලා උන්හ. නුවණැති සාමණේරයෝ තල් පතක් ඉරා පිහියා මට එහි බැඳ තවත් තල් පත් ඉර ඉරා එකිනෙකට ගැට ගසමින් පිහියා මිට බිමට එවූහ. උපාධ්‍යායෝ පිහිතලය එහි බහා ලූහ. සාමණේරයෝ එය ගෙනතල් ගෙඩි කපා හෙලූහ. මහතෙරහු පිහිය බිම හෙළවා තල් ගෙඩියක් කපා තබා සාමණේයන් බට කල්හි “දුබල වූ ඔබ මෙය වළඳව” යි කීහ. ගුරු භක්ති ඇති සාමණේරයෝ ඒ අමාරු අවස්ථාවේ දී ද ස්වකීය ආචාර්‍ය්‍යයන් වහන්සේට කලින් නො වැළඳූහ. “නුඹ වහන්සේට පළමු ව මම නො වළඳිමි” යි කියා, තල් ගෙඩි කපා මද උපුටා ආචාර්‍ය්‍යයන් වහන්සේට පිළිගන්වා පසුව සාමණේරයෝ වැළඳූහ. ඒ දෙන ම තල් ගෙඩි ඇති තෙක් එහි වැස ඉන් නික්ම කොළ බුදිනා මිනිසුන් වෙසෙන පෙදෙසෙහි එක් පාලු පන්සලකට පැමිණියෝ ය. සාමණේරයෝ තෙරුන් වහන්සේට වාසය කිරීමට තැනක් පිළියෙල කළහ. මහතෙරණුවෝ සාමණේරයන්ට අවවාද කොට එහි පිවිසියහ.
සාමණේරයෝ “අතීතයේ දී විපත්වලින් මැරෙන්නට සිදු වූ ආත්මවල ප්‍රමාණයක් නැත. ජීවත් වන මේ ටික කාලයේ දී බුද්ධෝපස්ථානයක් කරමි” යි සෑ මලුවට ගොස් එය පිරිසිදු කරන්නට වන්හ. නිරාහාරත්වයෙන් ක්ලාන්තව සාමණේරයෝ බිම ඇද වැටුණා හ. ඉක්බිති එහි වැතිර සිට ගෙන තණ ගලවන්නට පටන් ගත්හ. කැලෑවෙහි ඇවිදින්නට ගිය මිනිසුන් සමූහයක් මී කඩා ගෙන ඒ සමීපයෙන් එන්නාහු තණ සෙලවෙනු දැක මුවෙක් දෝ යි විමසන්නාහු සාමණේරයන් දැක කරුණු විමසා ඔවුනට මී වද පිළිගන්වා “මේවා මහතෙරුන් වහන්සේට ද දී වළඳා මහතෙර නමත් කැඳවාගෙන අප වෙසන තැනට එන සේක්වා” යි ආරාධනා කොට ගියහ. සාමණේරයෝ තෙරුන් වහන්සේට සිදු වූ පුවත් සැල කොට මීවද මිරිකා පානයක් සාදා පිළිගැන්වූහ. මිනිසුන් ඔවුන් වසන තැනට එන්නට ආරාධනා කර ගිය බව ද තෙරුන් වහන්සේට දැන්වූහ. එකල්හි තෙරුන් වහන්සේ උදෑසන යෑම අපහසු ය. දැන්ම ම එහි යමුය යි කියා පාසිවුරු ගන්වා සාමණේරයන් හා පිටත්ව ගොස් ඒ මිනිසුන් වෙසෙන සමීපයේ සැතපුණාහ. ඒ සාමණේරයෝ පැවිදි වූ තැන් පටන් ම ආරණ්‍යක ධුතංගය රකින්නාහු ය. ආරණ්‍යකයෝ අරුණ නැඟෙන තුරු ගමක නො වෙසෙති. වුවමනාවක් සඳහා ගමකට ඇතුළු වූවාහු ද අරුණ නැඟීමට පෙරාතුව ගමින් බැහැර වෙති. එබැවින් සාමණේරයෝ අරුණට පළමු නැගිට පාත්‍රය ද ගෙන ගමෙන් පිටතට ගියහ. මහතෙරණුවෝ රාත්‍රියෙහි සාමණේරයන් නො දැක මිනීමස් කන්නවුන් විසින් සාමණේරයන් ගෙන යන්නට ඇතැයි සිතා ගත් හ. අරුණ නැගුණු පසු සාමණේරයෝ පාත්‍රයට පැන් හා දැහැටි ද ගෙන තෙරුන් වහන්සේ කරා පැමිණියහ.
එකල්හි මහතෙරුන් වහන්සේ “සාමණේරය, ඔබ නො විචාරා රාත්‍රියෙහි පිටත ගොස් ගුරුන්ගේ සිත රිදවූයෙහිය, ඒ වරදට දඬුවම් විඳිය යුතුය” යි කීහ. සාමණේරයෝ දඬුවම් ලැබීමට නිසි කිසි වරදක් තමන් අත නැත ද, වැඩි කතාවට නො ගොස් “එසේය ස්වාමීනි” යි කියා ගුරු ගෞරවයෙන් එය පිළිගත්හ. මහතෙරුන් වහන්සේ මුව සෝදා සිවුරු පොරවා ගත්හ. ඉක්බිති දෙනම ම මිනිසුන් වසන තැනට ගොස් ඔවුන්ගෙන් ලත් දෑ වළඳා විහාරයට පෙරළා ආහ. සාමණේරයෝ මහතෙරුන් වහන්සේගෙන් පා සෝදන්නට ඇසූහ. එකල්හි තෙරුන් වහන්සේ “සාමණේරය, තෙපි රාත්‍රියේ කොහි ගොස් අප සිතට කරදර කළාහු දැ” යි ඇසූහ. එකල්හි සාමණේරයෝ “ස්වාමීනි, මා කිසි දිනක අරුණ උදාවන තෙක් ගමක වාසය කර නැ. එබැවින් අරුණට පළමු නැගිට ගමින් පිටතට ගියෙමි” යි කීහ. මහතෙරුන් වහන්සේ “සාමණේරය, එසේ නම් දඬුවම් ලැබිය යුත්තෝ තොප නොව අප ම නො වෙත්දැ”යි කියා ඒ විහාරයෙහි ම විසූහ.
ඒ මහතෙරුන් වහන්සේ අනාගාමී කෙනෙකි. පසු කාලයේ දී උන් වහන්සේ මිනීමස් කන්නවුන්ට අසු වූහ. පරම ගුරු භක්තියෙන් යුක්ත වූ සුවච වූ “වත්තබ්බක නිග්‍රෝධයෝ” මහතෙරුන් වහන්සේගේ අනුශාසනාව පරිදි පරෙස්සම් වී සිට නැවත රට සශ්‍රීක වූ පසු උපසම්පදාව ලබා සුප්‍රසිද්ධ ත්‍රිපිටකධාරී මහතෙර නමක් වූහ.
ආචාර්ය්‍යෝපාධ්‍යායයන් හා අන්‍ය සබ්‍රහ්මචාරීන්ට ගරු කරන බව පැවිද්දකු තුළ තිබිය යුතු වන එක් ගුණයෙකි. ආචාර්ය්‍යෝපාධ්‍යායාදි සබ්‍රහ්මචාරීන්ගේ අනුග්‍රහයෙන් තොර ව මේ සස්නෙහි පැවිද්දකුට දියුණු නොවිය හැකි ය. දියුණු වීම තබා සබ්‍රහ්මචාරීන්ගේ අනුග්‍රහය නො ලබන පැවිද්දකුට බුදුසස්නෙහි දිවි පැවැත්වීම පවා අපහසු ය. එබැවින් නොයෙක් විට සබ්‍රහ්මචාරීන් ගේ අනුග්‍රහය නො ලබන පැවිද්දන්ට සසුනෙන් බැහැර වන්නට සිවුරු හැර යන්නට සිදු වේ. යමෙක් යම් පමණකට ආචාර්ය්‍යෝපාධ්‍යායාදීන්ට ගරු කෙරේ නම්, ඒ ඒ තරමට ඒ පැවිද්දාහට සබ්‍රහ්මචාරීහු අනුකම්පා කරති. ඒ පැවිද්දාහට ධර්මාමිෂ දෙකින් ම සංග්‍රහ කරන්නට සිතති. ගරු කළ යුත්තන්ට ගරු නො කරන උඩඟු මහණා සබ්‍රහ්මචාරීන්ගේ පිළිකුලට භාජන වේ. ඔහුට අවවාදානුශාසනා කරන්නට ඔහුගේ වැඩවලට සහභාගී වන්නට සබ්‍රහ්මචාරීහු නො සිතති. එයින් සිදු වන්නේ ඒ පැවිද්දාහට සස්නෙන් බැහැරවීමට ය.
මාපිය ගුණය සේ ආචාර්‍ය්‍ය ගුණය ද අනන්තය. එබැවින් සත්පුරුෂයෝ තමන් කොතරම් උසස් තත්ත්වයකට පැමිණ සිටියත් දෙවියන්ට රජුන්ට මෙන් ගුරුවරුන්ට ගරු කරන්නාහ. සැරියුත් මහ තෙරුන් වහන්සේ මේ බුදු සස්නෙහි භික්ෂූන් අතුරෙන් උසස් ම තැනට පැමිණ සිටි තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ දෙවෙනි වන්නේ බුදුන් වහන්සේ පමණෙකි. ඒ දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ සෑම කල්හිම තථාගතයන් වහන්සේට උපස්ථාන කොට අනතුරු ව තමන් වහන්සේට පළමුවෙන් බුදුසස්න හඳුන්වා දුන් ආචාර්‍ය්‍යවරයා වන “අස්සජි” මහතෙරුන් වහන්සේට උපස්ථානයට යන්නාහ. උන් වහන්සේ විහාරයෙහි නැති දිනවලදී සැරියුත් මහ තෙරුන් වහන්සේ “අස්සජි” තෙරුන් වහන්සේ වෙසෙන දිශාවට හැරී තමන් වහන්සේගේ ගුරුවරයාගේ ගුණ සිහිකොට පසඟ පිහිටුවා වඳින්නාහ. දිනක් භික්ෂූහු සැරියුත් මාහිමියන් ගේ ඒ වන්දනාව දැක “මේ සැරියුත් තෙරණුවෝ බුදුන් වහන්සේගේ අගසව් බවට පැමිණත් දිශාවන්ට නමස්කාර කරන්නාහ. මේ තෙරුන් වහන්සේට කලින් තුබූ බ්‍රාහ්මණදෘෂ්ටි තවමත් අත හැරිය හැකි වී නැතැ” යි කථා කරමින් උන්හ. තථාගතයන් වහන්සේ ඒ කථාව දිවකනින් අසා එහි පැමිණ භික්ෂූන් අමතා “මහණෙනි, තෙපි කිනම් කථාවක් කරමින් හුන්නහුදැ” යි විචාරා, ඒ භික්ෂූන් විසින් තමන් කළ කථාව තථාගතයන් වහන්සේට සැලකළ කල්හි, “මහණෙනි, ශාරිපුත්‍රස්ථවිර තෙමේ දිශාවන්ට නමස්කාර නො කරන්නේ ය. ඔහු නමස්කාර කරන්නේ තමාට පළමුවෙන් ම බුදු සස්න හඳුන්වා දුන් ආචාර්‍ය්‍යවරයාට ය. මහණෙනි, ශාරිපුත්‍ර හැම කල්හි ම ගුරුන් පුදන්නෙකැ” යි වදාරා, ඒ භික්ෂු පිරිසෙහිදී “ධර්මසූත්‍රය” වදාළ සේක. ඒ ධර්මසූත්‍රය සූත්‍රනිපාතයට ඇතුළත් ය. “නාවාසූත්‍රය” යනු ද එයට තවත් නමකි.
“යස්මා හි ධම්මං පුරිසෝ විජඤ්ඤා
ඉන්දං ව නං දෙවතා පූජයෙය්‍ය
සෝ පූජිතෝ තස්මිං පසන්නචිත්තෝ
බහුස්සුතෝ පාතු කරෝති ධම්මං”
මේ “ධම්ම සුත්තයේ” පළමුවන ගාථාවය.
“යම් ධර්මධරයකුගෙන් යමක ධර්මය දැන ගන්නේ නම් ඒ තැනැත්තා විසින් චාතුර්මහාරාජික තාවතිංස දිව්‍යලෝක දෙක්හි දෙවියන් සක් දෙවිඳුන්ට පුදන්නාක් මෙන් ගරු සත්කාර කරන්නාක් මෙන් ඒ ආචාර්‍ය්‍යවරයා පිදිය යුතුය. ගරු බුහුමන් කළ යුතුය. එසේ කරන කල්හි පුදන අතවැසියා කෙරෙහි ප්‍රසන්න වන බහුශ්‍රැත ආචාර්‍ය්‍යවරයා අවවාදයෙන් අනුශාසනයෙන් උගැන්වීමෙන් ඔහුට ධර්මය පහළ කරන්නේ ය. හෙවත් දෙන්නේ ය.” යනු ගාථාවේ අදහස ය.
එහි දෙවන ගාථාව මෙසේ ය:-
තදට්ඨි කත්වාන සුණෙය්‍ය ධීරෝ
ධම්මානුධම්මං පටිපජ්ජමානෝ,
විඤ්ඤු විභාවී නිපුණෝ ච හෝති
යෝ තාදිසං භජතී අප්පමත්තෝ.”
නුවණැත්තේ ඒ ධර්මය ඕනෑකමින් අසන්නේ ය. යමෙක් ධර්මය කියා දෙන්නට දත් එබඳු පුද්ගලයකු අප්‍රමාද ව ඇසුරු කරන්නේ ද හෙතෙමේ ධර්මය අනුව පිළිපදින්නේ ප්‍රඥාව ලැබූ අනුන්ටත් ධර්මය ප්‍රකාශ කිරීමට සාමර්ථ්‍යය ඇත්තා වූ ගැඹුරු ධර්මයන් තේරුම් ගැනීමට තරම් සියුම් නුවණ ඇත්තා වූ පුද්ගලයෙක් වේය” යනු එහි අදහස ය.
“මහානාග” තෙරුන් වහන්සේ විසින් වදාරන ලදුව ථෙරගාථා පාළියේ ඡක්කනිපාතයේ සඳහන් වන ගාථා කීපයක් මෙසේ ය.
“යස්ස සබ්‍රහ්මචාරීසු ගාරවෝ නූපලබ්භති,
පරිහායති සද්ධම්මා මච්ඡෝ අප්පෝදකේ යථා.”
යම් පැවිද්දෙක් ආචාර්ය්‍යෝපාධ්‍යායාදී සබ්‍රහ්මචාරීන්ට ගරු නො කෙරේ ද හෙතෙමේ සිඳී ගෙන යන මඳ දියෙහි වෙසෙන මසකු මෙන් සද්ධර්මයෙන් පිරිහෙන්නේ ය.
“යස්ස සබ්‍රහ්මචාරීසු ගාරවෝ නූපලබ්භති,
න විරූභති සද්ධම්මේ ඛෙත්තේ බීජංව පූතිකං”
යමෙක් ආචාර්ය්‍යෝපාධ්‍යායාදි සබ්‍රහ්මචාරීන්ට ගරු නො කෙරේ ද, හෙතෙමේ කුණු වූ දිරූ බිජුවට කුඹුරෙහි නො වැඩෙන්නාක් මෙන් බුදුසස්නෙහි නො වැඩෙන්නේ ය.
“යස්ස සබ්‍රහ්මචාරීසු ගාරවෝ නූපලබ්භති,
ආරකා හෝති නිබ්බානා ධම්මරාජස්ස සාසනේ”
යමෙක් ආචාර්ය්‍යෝපාධ්‍යායාදි සබ්‍රහ්මචාරීන්ට ගරු නො කෙරේ ද හෙතෙමේ ධර්මරාජයන් වහන්සේගේ ශාසනයෙහි නිවනින් දුර වූවෙක් වන්නේ ය.
“මම උසස් ය, අන්‍යයන් මාහට ගරු බුහුමන් කළ යුතු ය. මා කියන දෙය පිළිගත යුතු ය. මට අනුකූල විය යුතු ය. මා විසින් අන්‍යයන්ට යටත් නො විය යුතු ය. ගරු නො කළ යුතුය. අනුකූල නො විය යුතු ය.” කියා ඇති වන උමතුකම හෙවත් මානය බැහැර කොට, අන්‍යයන්ට අනුකූල ව වෙසෙන ස්වභාවය “නිවාත ගුණය” ය. මෙය ගිහි පැවිදි කා විසිනුත් ඇති කර ගත යුතු කාහටත් ඉතා ප්‍රයෝජනවත් ගුණයෙකි. තමා උසස් ය කියා ඉදිමෙන ස්වභාවය, මෝඩකම හා අත්වැල් බැඳ පවත්නා වූ, මෝඩකම වැඩි තරමට බලවත් ව ඇති වන්නා වූ අකුශල ධර්මයෙකි.
“තමා උසස් ය, අන්‍යයන් තමාට ගරු බුහුමන් කළ යුතුය” කියා සිතා ගෙන සිටියේ වී නමුත් ඒ සිතන උසස්කම අන්‍යයන් පිළිගන්නක් නො වේ. එසේ සිතා ගෙන ඉන්නා පුද්ගලයා අන්‍යයන් සලකන්නේ ඉදිමුණු එකෙක, මෝඩයෙක, කියා වඩාත් පහත් කොට ය. ඒ නිසා උඩඟු වීම තමාගේ තත්ත්වය ඇතුවාටත් වඩා පහතට හෙළා ගැනීමෙකි. තමා විසින් ම තමා අන්‍යයන් ගේ පිළිකුලට අප්‍රසාදයට භාජන කර ගැනීමෙකි.
පැවිද්දන්ට මේ මානය වඩාත් අනර්ථකරය. එබැවින් පැවිද්දන් විශේෂයෙන් ම නිවාතගුණයෙහි පිහිටිය යුතු ය. නිවාත ගුණය ගැන සැරියුත් මහ තෙරුන් වහන්සේගේ චරිතය ආදර්ශයට ගත යුතු ය.
සැරියුත් මහතෙරුන් වහන්සේගේ නිවාත ගුණය
එක් කලෙක සැරියුත් මහතෙරුන් වහන්සේ සැවැත් නුවර වස් එළඹ පවාරණය කොට, චාරිකාවෙහි හැසිරෙන්නට සූදානම් වී තථාගතයන් වහන්සේගෙන් අවසර ගනු සඳහා බොහෝ භික්ෂූන් සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, එපවත් සැලකොට අවසර ගෙන නික්මුණු සේක. වැඩම කරන්නා වූ සැරියුත් මහතෙරුන් වහන්සේගේ සිවුරු කොනක් එක් භික්ෂුවකගේ ශරීරයේ සැපිණ. සැරියුත් මහතෙරුන් වහන්සේ බොහෝ භික්ෂූන් පිරිවරා යම ගැන, ඒ භික්ෂුවට තද ඊර්‍ෂ්‍යාවක් ඇතිවිය. හෙතෙමේ මහතෙරුන් වහන්සේ ගේ ගමනට බාධා කරන්නට සිතා වහා බුදුරදුන් වෙත එළඹ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ශාරිපුත්‍රයෝ මාගේ ඇඟේ සැපී එය ගැන සැලකිල්ලක් නොකොට මාගෙන් ක්ෂමාව නො ගෙන චාරිකාවට ගියහ” යි සැල කෙළේ ය. එකල්හි තථාගතයන් වහන්සේ “ශාරිපුත්‍රයන් කැඳවා ගෙන එව” යි අන් භික්ෂුවකට වදාළහ. මේ ප්‍රවෘත්තිය දැන ගත් මුගලන් මහතෙරුන් වහන්සේ හා අනඳ මහ තෙරුන් වහන්සේ විහාරයෙන් විහාරයට ගොස් “සැරියුත් මහතෙරුන් වහන්සේ ගේ සිංහනාදය අසන්නට යෙත්වා” යි භික්ෂූන්ට දැන්වූහ. බොහෝ භික්ෂූහු තථාගතයන් වහන්සේ වෙත පැමිණියෝ ය. සැරියුත් මහතෙරුන් වහන්සේ ද පැමිණ තථාගතයන් වහන්සේ වැඳ එකත් පසෙක වැඩහුන් සේක.
එකල්හි තථාගතයන් වහන්සේ “ශාරිපුත්‍රය, තෙපි එක් සබ්‍රහ්මචාරී නමකගේ ඇඟේ සැපී ක්ෂමා කරවා නොගෙන චාරිකාවෙහි යන්නහුය යි කියන්නේ ය” යි වදාළ සේක.
එකල්හි සැරියුත් මහතෙරණුවෝ මෙසේ වදාළහ. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, යමකුට කායගතාසතිය නැත්තේ නම් ඔහු සබ්‍රහ්මචාරී නමගේ ඇඟේ සැපී කමා කරවා නොගෙන චාරිකාවෙහි යනු ඇත. භාග්‍යවතුන් වහන්ස, පොළොවෙහි පිරිසිදු දූ ද දමන්නාහ, අපිරිසිදු දෑ ද දමන්නාහ, අසුචි ද දමන්නාහ, මුත්‍ර ද දමන්නාහ, කෙළ ද දමන්නාහ, සැරව ද දමන්නාහ, ලේ ද දමන්නාහ, එයින් පොළොවට අමාරුවක් නැත. පොළොව ලජ්ජා වන්නේ නැත. ඒවා පිළිකුල් කරන්නේ නැත. භාග්‍යවතුන් වහන්ස, මම ද කවරකු සමඟ වත් වෛරයක් නැති ව කෝපයක් නැති ව පොළොව වැනි සිතින් වාසය කරමි. සබ්‍රහ්මචාරියකුගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන යතොත් යන්නේ කායගතාසතිය නැත්තෙක් ය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ජලයෙහි පිරිසිදු දෑ ද සෝදන්නාහ, අපිරිසිදු දෑ ද සෝදන්නා හ, අසුචි ද සෝදන්නා හ, මුත්‍ර ද සෝදන්නා හ, කෙළ ද සෝදන්නා හ, සැරව ද සෝදන්නා හ, ලේ ද සෝදන්නා හ, එයින් ජලයට අමාරුවක් නැත. ලජ්ජාවක් නැත. පිළිකුලක් නැත. භාග්‍යවතුන් වහන්ස, මම ද කවරකු සමඟ වත් වෛරයක් නැති ව කෝපයක් නැති ව ජලය හා සමාන සිතින් වෙසෙමි. ස්වාමීනි, සබ්‍රහ්මචාරී නමක ගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන චාරිකාවෙහි යනවා නම් යන්නේ කායගතාසතිය නැතියෙක් ය.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ගින්න පිරිසිදු දෙය ද දවන්නේ ය, අපිරිසිදු දෙය ද දවන්නේ ය, අසූචි ද දවන්නේ ය මුත්‍ර ද දවන්නේ ය, කෙළ ද දවන්නේ ය, සැරව ද දවන්නේ ය, ලේ ද දවන්නේ ය, එයින් ගින්නට අමාරුවක් ලජ්ජාවක් පිළිකුලක් නැත. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම කවරකු සමඟ වත් වෛරයක් නැති ව කෝපයක් නැති ව ගින්න හා සමාන සිතින් වාසය කරමි. ස්වාමීනි, සබ්‍රහ්මචාරී නමකගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන යන්නේ කායගතාසතිය නැතියෙක් ය.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, සුළඟ පවිත්‍ර දෙයට ද හමන්නේ ය, අපවිත්‍ර දෙයට ද හමන්නේ ය, අසූචියට ද හමන්නේ ය, මුත්‍රයට ද හමන්නේ ය, කෙළවලට ද හමන්නේ ය, සැරවවලට ද හමන්නේ ය, ලේ වලට ද හමන්නේ ය, එයින් සුළඟට අමාරුවක් ලජ්ජාවක් පිළිකුලක් නැත්තේ ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම කිසිවකු හා වෛරයක් කෝපයක් නැති සුළඟ හා සමාන සිතින් වෙසෙමි. ස්වාමීනි, සබ්‍රහ්මචාරී නමකගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන යන්නේ කායගතාසතිය නැතියෙක් ය.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කුණු පිස්නා රෙදි කඩින් පිරිසිදු දෑ ද පිස්නේය, අපවිත්‍ර දෑ ද පිස්නේ ය, අසූචි ද පිස්නේ ය, මුත්‍ර ද පිස්නේ ය, කෙළ ද පිස්නේ ය, සැරව ද පිස්නේය, ලේ ද පිස්නේ ය, එයින් රෙදි කඩට අමාරුවක් ලජ්ජාවක් පිළිකුලක් නැත්තේ ය. ස්වාමීනි, මම කිසිවකු හා වෛරයක් නැති ව කෝපයක් නැති ව කුණු පිස්නා රෙදි කඩට සමාන වූ සිතින් වෙසෙමි. භාග්‍යවතුන් වහන්ස, සබ්‍රහ්මචාරියකුගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන යන්නේ කායගතා සතිය නැතියෙක් ය.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, රෙදි කඩක් හැඳ අතින් පැසක් ගත් රොඩී කොලුවකු හෝ රොඩී කෙල්ලක හෝ ගමකට හෝ නියම් ගමකට හෝ පිවිසෙන්නේ නීච චිත්තයෙනි. භාග්‍යවතුන් වහන්ස, මම කිසිවකු හා වෛරයක් කෝපයක් නැති ව රොඩී කොලුවකුට සමාන සිතින් වෙසෙමි. භාග්‍යවතුන් වහන්ස, සබ්‍රහ්මචාරියකුගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන චාරිකාවෙහි යන්නේ කායගතාසතිය නැතියෙක් ය.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, හොඳට කීකරු වූ අං සුන් ගවයා වීදියෙන් වීදිය මංසන්දියෙන් මංසන්දිය ඇවිදින්නේ කිසිවකුට පයින් නො ගසයි, නො අනී. භාග්‍යවතුන් වහන්ස, මම කිසිවකු හා වෛරයක් කෝපයක් නැති අං සුන් ගවයකුට සමාන සිතින් වෙසෙමි. භාග්‍යවතුන් වහන්ස, සබ්‍රහ්මචාරියකු ගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන චාරිකාවෙහි යන්නේ කායගතාසතිය නැතියෙක් ය.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සැම පැත්තේ ම කුඩා මහත් සිදුරු ඇති යුෂ උතුරන වැගිරෙන කුණු මස් සැළියක් පරිහරණය කරන්නාක් මෙන් කුඩා මහත් බොහෝ සිදුරු ඇති අපවිත්‍ර දෑ උතුරන වැගිරෙන මේ කය මම ද ඉමහත් පිළිකුලෙන් පරිහරණය කරමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සබ්‍රහ්මචාරී නමකගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන චාරිකාවෙහි යන්නේ කායගතාසතිය නැතියෙක් ය.
සැරියුත් මහතෙරුන් වහන්සේගේ ඒ කතාව අසා හුන් චෝදනා කළ මහණ මහත් සංවේගයටත් බියටත් පත්ව, තථාගතයන් වහන්සේ ගේ පාමුල වැඳ වැටී, තමා කළ වරද ගැන සමාව ඉල්ලා සිටියේ ය. තථාගතයන් වහන්සේ සැරියුත් මහතෙරුන් වහන්සේ අමතා “ශාරිපුත්‍රය, මේ හිස් පුරුෂයාගේ හිස මෙතැනදී ම සත් කඩකට පැළී යනු ඇත. එබැවින් මේ මහණහුට සමා වන්නේය” යි වදාළ සේක. සැරියුත් මහතෙරුන් වහන්සේ සමාව දුන් සේක.
මානය දුරු වීම සඳහා භාවිතයට මේ ගාථා දෙක හොඳ ය.
“දිපාදකෝ යං අසුචී
දුග්ගන්ධෝ පරිහීරතී,
නානා කුණප පරිපූරෝ
විස්සවන්තෝ තතෝ තතෝ
-
එතාදිසේන කායේන
යෝ මඤ්ඤේ උණ්ණමේතවේ
පරං වා අවජානෙය්‍ය
කිමඤ්ඤත්‍ර අදස්සනා.”
(සුත්තනිපාත විජය සුත්ත)
තේරුම:
පා දෙකක් ඇත්තා වූ දුඟද වූ මේ කුණුකය දුඟද දුරු වීම පිණිස සුවඳ සුණු ආදියෙන් සරසා පරිහරණය කරනු ලැබේ. එහෙත් කෙස් ලොම් ආදි නානා කුණපයෙන් පිරි සිරුර ඒ ඒ තැනින් අපවිත්‍ර දෑ වගුරුවන්නේ ම ය. යමෙක් එබඳු කයකින් උඩඟු වන්නට සිතා නම් අනුන් පහත් කොට හෝ සිතා නම් එය ඇති තතු නොදැනීම හැර අන් කුමක් ද?
කටයුත්තෙහි පසු බැසීමට, ධෛර්‍ය්‍යය නැති වීමට කරන දෙය සම්පූර්ණයෙන් හැර දැමීමට, බිය වීමට, ශෝක වීමට, ලජ්ජා වීමට, කෝප වීමට, කෝලාහල කිරීමට, නඩුහබ කියා ගැනීමට, හේතු වන නොයෙක් කරදර ලෝකයෙහි කාහටත් වරින් වර පැමිණෙන්නේ ය. ඒවා නිසා තමා වෙනසකට නො පැමිණෙන ලෙස ඒ කරදර විඳ දරා ගැනීම ඉවසීම ය. මෙය ගිහි පැවිදි කාටත් ඉතා ප්‍රයෝජනවත් මහඟු ගුණයෙකි. මහා බලයෙකි. මෙය නැතියහුට ජීවිතය රැක ගැනීම පවා දුෂ්කරය. මෙය පැවිද්දන්ට විශේෂයෙන් ම වුවමනා ගුණයෙකි. ඉවසීම නැතියහුට පැවිද්ද වැඩි කල් නො දැරිය හැකිය. සිත නො කිලිටි කර ගෙන හොඳින් ද පැවිද්ද නො පැවැත්විය හැකි ය. ඉවසීමේ අනුසස් බොහෝ ය.
“ඉධ භික්ඛවේ, භික්ඛු ඛමෝ හෝති සීතස්ස, උණ්හස්ස, ජිගච්ඡාය, පිපාසාය, ඩංසමකසවාතාතප සිරිංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරාණං අධිවාසික ජාතිකෝ හෝති.”
(අංගුත්තර චතුක්කනිපාත)
මේ තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් ඉවසිය යුතු කරුණු දක්වා දේශනය කර ඇති පාඨයෙකි. චිර කලක් මහණ දම් පිරිය හැකි වීමට හොඳින් මහණ දම් පිරිය හැකි වීමට, මහණකමට ඔරොත්තු දෙන පුද්ගලයකු වීමට, පැවිද්දන් විසින් ශීත ඉවසීම පුරුදු කර ගත යුතුය. උෂ්ණය ඉවසීම පුරුදු කර ගත යුතුය. සාගිනි ඉවසීම පුරුදු කර ගත යුතුය. පිපාසාව ඉවසීම පුරුදු කර ගත යුතුය. මැසි මදුරු පීඩා ඉවසීම පුරුදු කර ගත යුතුය. අනුන් කියන ඇණුම් පද - නින්දා බස්- අනුන් කරන තර්ජන - විවේචන - විහිළු තහළු ඉවසීම පුරුදු කර ගත යුතුය. ශාරීරික දුඃඛ වේදනා ඉවසීම පුරුදු කර ගත යුතුය. ඉහත දැක් වූ පාඨයෙන් නො දැක්වෙන ඉවසිය යුතු තවත් බොහෝ කරුණු ද ඇත්තේ ය. තමන් ගේ භාණ්ඩවලට හානි කිරීම, තමන් ගේ භාණ්ඩ සොරා ගැනීම, තමන්ට වන ලාභ වැළැක්වීම, හිතවතුන් භේද කිරීම, තමන් ගේ ආචාර්ය්‍යොප්ධ්‍යායන්ට ඥාතීන්ට හිතවතුන්ට වරද කිරීම, ගෝලබාලයන්ට වරද කිරීම, ගෝල බාලයන්ගේ අකීකරුකම් යන මේවා ඉවසන්නට ද පුරුදු කර ගත යුතුය.
පැවිද්දන් විසින් අරුණට පළමු නැගිට රත්නත්‍රය වැඳීම කළ යුතුය. ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. භාවනා කළ යුතුය. ඉගෙන ගන්නා කෙනකු නම් පොතපත පාඩම් කළ යුතුය. වත පිළිවෙත කළ යුතුය. ශීත ඉවසීම පුරුදු කර නො ගත්, ශීත ඉවසීමට නො සමත් පැවිද්දා “ශීතලේ නැගිටිය නො හැක” කියා පැවිද්දකු විසින් අලුයම් කාලයෙහි කළ යුතු දෑ නො කරන්නේ ය. එය ශීත නො ඉවසන්නහුට නිතර ම සිදු විය හැකි පාඩුව ය. සමහර විට ශීත පීඩාව නැති ව විසීමට සුදුසු ලෙස වාසස්ථාන පිළියෙළ කර ගැනීම්, සිවුරු පිළියෙළ කර ගැනීම් ආදියට නුසුදුසු දේ කරන්නට ද සිදු වන්නේ ය. උෂ්ණය ඉවසීමට නො හැකි පැවිද්දා හට උෂ්ණය කියා කළ යුතු නොයෙක් දේ අත් හරින්නට සිදු වන්නේ ය. උෂ්ණ පීඩාවෙන් තොරව වාසය කිරීමට වුවමනා දෑ සොයා ගැනීමට පැවිද්දන් විසින් නො කළ යුතු දෑ කරන්නට ද සමහර විට සිදු වන්නේ ය. සාගින්න පිපාසාව මැසි මදුරු ආදීන්ගෙන් වන පීඩාව යන මේවා නො ඉවසීම නිසා ද කළ යුතු බොහෝ දේවල් නො කරන්නටත් නො කළ යුතු දෑ කරන්ටත් සිදුවන්නේ ය. ඒවා ඉවසීමට නො සමත් කම නිසා ඇතැම් පැවිද්දන්ට මහණකම හැර දමන්නට ද සිදු වන්නේ ය. ශීතෝෂ්ණාදිය ඉවසීමට පුරුදු කර ගත් පැවිද්දා හට කිසි කාය චිත්ත පීඩාවක් නැති ව සුවසේ මහණ දම් පිරිය හැකි වන්නේ ය.
පෙර ලක්දිව සෑගිරියේ පියංගු ගුහාවෙහි විසූ ලෝමනසාග ස්ථවිරයන් හේමන්ත සෘතුවේ හිම වැටෙන අති ශීත කාලයේ දී ද ලෝකාන්තරික නරකය සිහි කොට කර්මස්ථානය නො හැර එළිමහනෙහි ම විසූ බව සබ්බාසව සූත්‍ර අටුවාවෙහි සඳහන් වේ.
තව ද ඒ තෙරුන් වහන්සේ ග්‍රීෂ්ම සෘතුවෙහි සක්මනෙන් පිටත වැඩ හිඳ කමටහන් වඩමින් ඉන්නා අවස්ථාවක එතැනට හිරු රැස් වැටී, උන් වහන්සේ ගේ ශරීරයෙන් ඩහදිය වැගිරෙනු දුටු අතවැසියෙක් “ස්වාමීනි, මෙහි ශීතල ය, මෙහි වැඩ සිටිනු මැන” යි ශීත ස්ථානයක් දැක්වීය. “ඇවැත්නි, මා මෙහි හිඳගත්තේ උෂ්ණය නිසාම ය” යි කියා අවීචි මහා නරකය සිහි කොට එහි ම භාවනා කළහ. ශීත නිසාවත් උෂ්ණය නිසාවත් ලෝමසනාග තෙරුන් වහන්සේ තමන් කරන භාවනාව නො නැවැත්වූහ.
“වත්තබ්බක නිග්‍රෝධසාමණේරයෝ” සතියක් නිරාහාර ව විසීමෙන් පසු ද උපාධ්‍යාය වත කළහ. “බුදුරජාණන් වහන්සේට වත් කරමි” යි සෑ මලුයෙහි තණ ඉවත් කළහ.
“ගවරවාල අංගණයෙහි” භික්ෂූන් තිස් නමක් වස් එළඹ පොහෝ දිනයන්හි ආර්යවංශ ධර්මය කීහ. එක් පිණ්ඩපාතික තෙර නමක් දහම් අසනු පිණිස එහි ගොස් මුවාවක් ඇති තැන හිඳ දහම් ඇසුවේ ය. ඒ තෙරුන් වහන්සේ ගේ පය සර්පයකු විසින් දෂ් කරනු ලැබීය. වේදනාව ඉවසමින් ඒ තෙරුන් වහන්සේ එළි වන තුරු දහම් අසා අනාගාමී ඵලයට පැමිණියහ.
වරින් වර නොයෙක් රෝග වේදනා හටගන්නා බව ශරීරවල ස්වභාවයකි. රෝග වේදනාවලින් තොර ශරීරයක් නො ලැබිය හැකි ය. වේදනා නො ඉවසා ඒවා ගණන් ගෙන ඒවා නැති කර ගැනීමට ප්‍රයත්න කරන්නට පටන් ගන්නා තැනැත්තාට අන් කිසිවක් කරන්නට ඉඩක් නො ලැබේ. ඒ නිසා ඔහුට දියුණු විය නො හැකි ය. දියුණු වන්නට නම් සුළු සුළු රෝග ගණන් නො ගෙන කටයුතුවල යෙදිය යුතු ය. රෝග ගැන ම සිතන්නා වූ ඇතැම්හු නිතර ම ඒ ගැන ම සිතමින් ඒ කායික දුඃඛයට මානසික දුඃඛයකුත් එකතු කර ගැනීමෙන් දුක් වැඩි කර ගනිති. එය මහත් අනුවණ කමකි. සාගිනි වේදනා නො ඉවසන, රෝග වේදනා නො ඉවසන පැවිද්දන්ට සමහර විට විකාල භෝජනාදි සිකපද කඩා තමන් ගේ ශීලය ද පලුදු කර ගන්නට සිදු වේ.
පෙර සිතුල් පවුවෙහි විසූ යෝගාවචර තෙර නමකට රාත්‍රියෙහි භාවනාවෙහි යෙදී වෙසෙන අතර කුස තුළ වාතාබාධයක් ඇති විය. වේදනාව ඉවසා ගත නො හැකිව ඒ තෙරුන් වහන්සේ කැරකෙන්නට පෙරළෙන්නට වූහ. එය බලා සිටි පිණ්ඩපාතික තෙරුන් වහන්සේ “ඇවැත්නි, පැවිද්දා ඉවසන ස්වභාවය ඇතියෙකැ”යි කීහ. වාතාබාධය ඇති තෙරුන් වහන්සේ “එසේය, හිමියනි” වේදනාව ඉවසමින් නිශ්චල ව වැතිර හුන්හ. වාතය උත්සන්න වී තෙරුන් වහන්සේ ගේ කුසය පැළී ගියේ ය. තෙරුන් වහන්සේ ඉවසීමෙන් වේදනාව යට පත් කොට විදර්ශනා වඩා අනාගාමී වී අපවත් වූහ.
ඇනුම් බැනුම් නින්දා අපවාද චෝදනා අලාභ හානි ඉවසීම, පැවිද්දන් විසින් අමාරුවෙන් වුවද පුරුදු කර ගත යුතුය. ඒවා ඉවසීමට නො සමත් තැනැත්තාට කෝපයත්, එය මේරීමෙන් වෛරයත් ඇති වේ. කෝප වන තැනැත්තා අතින් නොයෙක් වරද සිදු විය හැකිය. සමහර විට මහණකම පවා නැති වී යන දේ සිදුවිය හැකි ය. තමාට කළ අලාභ හානි ගැන කිපී පළිගැනීම් වශයෙන් අනුන්ට අලාභ හානි කරන්න නො යා යුතුය. සමහර විට අනුන්ට අලාභ කරන්නට යන කල්හි අදින්නාදාන පාරාජිකාවට පැමිණීමෙන් උපසපන් පැවිද්දන්ගේ මහණකම් සම්පූර්ණයෙන් ම ද නැති වී යා හැකිය. කෝප නොවීම පැවිද්දන් කෙරෙහි පිහිටිය යුතු විශේෂ ගුණයකි.
“යෝ කෝපනෙය්‍යෙ න කරෝති කෝපං
න කුජ්ඣති සප්පුරිසෝ කදාචි
කුද්ධෝ පි සෝ නාවිකරෝති කෝපං
තං වේ නරජ සමණමාහු ලෝකේ.”
(චතුපෝසථික ජාතක)
තේරුම:
සත්පුරුෂයා කිසි කලෙක නො කිපේ. කිපුණේ ද හෙතෙමේ පරුෂ වචන කීම් ආදියෙන් කෝපය ප්‍රකාශ නො කෙරේ. යමෙක් කිපිය යුතු කරුණෙහි නො කිපේ ද ලෝකයෙහි “ඒ නො කිපෙන මනුෂ්‍යයා ශ්‍රමණයා” යයි කීහු.
පැවිද්දකු හැඳින්විය හැකි බොහෝ ලකුණු බොහෝ ගුණ ඇත ද මේ ගාථාවෙහි කෝප නොවීමේ ගුණයෙන් ම පැවිද්දා හඳුන්වා ඇත්තේ එය විශේෂ ශ්‍රමණ ගුණයක් වන බැවිනි. එයට “ශ්‍රමණධර්මය” යි ද කියනු ලැබේ. කෝප වන සුළු අනුන්ට බණිනා පැවිද්දා පන්සලක තබා ගැනීමට ද සුදුසු නැත. එබැවින් බුද්ධ කාලයේ විසූ “ධම්මික” නමැති භික්ෂුව දායකයන් විසින් ආවාස සතකින් ම නෙරපන ලද්දේ ය. ඒ භික්ෂුව තථාගතයන් වහන්සේ වෙත එළඹ තමාට වූ අතෝරය සැල කළ කල්හි උන්වහන්සේ “ධම්මික, නුඹ ශ්‍රමණ ධර්මයෙහි සිටියදී ම උපාසක වරුන් විසින් නෙරපන ලද්දෙහි දැ” යි විචාළ සේක. එකල්හි ධම්මික මහණ, “ස්වාමීනි, කෙසේ නම් ශ්‍රමණ ධර්මයෙහි සිටියේ වේ දැ” යි විචාළේය. තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ඉධ බ්‍රාහ්මණ ධම්මික, සමණෝ අක්කෝසන්තං න පච්චක්-කෝසති, රෝසන්තං න පටිරෝසති භණ්ඩන්තං න පටිභණ්ඩති, ඒවං ඛෝ බ්‍රාහ්මණ ධම්මික, සමණෝ සමණ ධම්මේ ඨිතෝ හෝති.”
තේරුම:
“ධම්මික බ්‍රාහ්මණය, මේ සස්නෙහි පැවිද්දා බණින්නහුට පෙරළා නො බණී ද, ගැටෙන්නහු හා නො ගැටේ ද, ගසන්නහුට නො ගසා ද, ධම්මික බ්‍රාහ්මණය, එසේ පැවතීමෙන් ශ්‍රමණයා ශ්‍රමණධර්මයෙහි සිටියේ වේ.”
භික්ෂූන්හට නිතර මෙනෙහි කිරීම පිණිස තථාගතයන් වහන්සේ වදාරා ඇති කකචූපම අවවාදය මෙසේ ය:
“උභතො දණ්ඩකෙනපි චෙ භික්ඛවෙ, කකචේන චෝරා ඕචරකා අංගමංගානි ඔකන්තෙය්‍යුං. තත්‍රා පි යෝ මනෝ පදුසෙය්‍ය න මේ සෝ තේන සාසනකරෝ තත්‍රාපි වෝ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං, න චේව නෝ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම හිතානුකම්පි විහරිස්සාම, මෙත්තචිත්තාන දෝසන්තරා තඤ්ච පුග්ගලං මෙත්තා සහගතේන චේතසා එරිත්වා විහරිස්සාම. තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣෙන එරිත්වා විහරිස්සාමාති. ඒවං හි වෝ භික්ඛවෙ සික්ඛීතබ්බං.”
(කකචූපම සුත්ත)
තේරුම:
මහණෙනි, මහත් පැවතුම් ඇත්තා වූ සොරුන් විසින් තොපගේ ශරීරාවයවයන් හරස් කියතින් කපන කලක් වේ නම් එකල්හිත් යම් මහණෙක් කිපේ නම් නො ඉවසා නම් හෙතෙමේ මාගේ අනුශාසනය කරන්නෙක් නො වේ. මහණෙනි, එකල්හි ද සිත නො වෙනස් වන පරිදි තොප විසින් හික්මිය යුතුය. මහණෙනි, එකල්හි ද තොප විසින් නපුරු වචන නො කිය යුතු ය, ඇතුළත ද්වේෂයක් නො තබා ගෙන හිතානුකම්පාවෙන් යුක්ත ව මෛත්‍රී සහගත සිතින් විසිය යුතුය. ඒ අවයව කපන සොරුන් කෙරෙහි මෛත්‍රී සහගත චිත්තය පතුරුවා ගෙන විසිය යුතුය. එසේ ම ලෝකයෙහි සකල සත්ත්වයන් කෙරෙහි ද මෛත්‍රිය පතුරුවා වාසය කළ යුතු ය.
(මේ පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස
කළ පරිවර්තනයෙකි.)
මේ අවවාදය මහාබෝධිසත්ත්වයකුට හෝ එවැනි උසස් පුද්ගලයකුට හෝ මිස සැමට ම පිළිපැදිය හැකි අවවාදයක් නො වේ. තථාගතයන් වහන්සේ මෙසේ ඉවසීම සම්බන්ධයෙන් බර කොට අවවාද කර ඇත්තේ නො ඉවසීමෙහි කෝපයෙහි ආදීනවය පැවිද්දන්ගේ සිතට තදින් කා වැද්දීම පිණිසය. මේ අවවාදය සිහි කරන බුද්ධගෞරවය ඇති පැවිද්දන්ට සෑම කරුණකදී ම නො කිපී සිටිය හැකි නො වූයේ ද බොහෝ කරුණුවලදී නො කිපී සිටිය හැකි වන්නේ ය. උපන් කෝපය වහා සන්සිඳවා ගත හැකි වන්නේ ය. එබැවින් පැවිද්දන් විසින් මේ කකචූපම අවවාදය පාඩම් කර ගෙන සිහි කළ යුතු ය. ඉවසිය හැකි වීමට පුණ්ණ තෙරුන් වහන්සේගේ චරිතය ද ආදර්ශයට ගත යුතු ය.
දිනක් පුණ්ණ තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ “යම් කිසි පෙදෙසකට ගොස් විවේකී ව මහණ දම් පිරීම සඳහා මා හට කොටින් අවවාදයක් දෙන සේක්වා”යි තථාගතයන් වහන්සේට සැල කළහ. තථාගතයන් වහන්සේ පුණ්ණ තෙරුන් වහන්සේට දහම් අසා “පුණ්ණය මේ අවවාදය ලබා තෙපි, විවේකීව විසීමට කොහි යන්නහුදැ”යි විචාළ සේක. “ස්වාමීනි, සුණාපරන්ත නම් ජනපදයක් ඇත, මම එහි යෙමි”යි පුණ්ණ තෙරණුවෝ කීහ.
එකල්හි තථාගතයන් වහන්සේ “පුණ්ණය, සුණාපරන්තයෝ දුෂ්ටයෝ ය, නපුරෝ ය, පුණ්ණය, එහිදී තට සුණාපරන්තයෝ බණිත් නම් මෙසේ ද මෙසේ ද කරමු යි තර්ජනය කෙරෙත් නම් එකල්හි කෙසේ සිතන්නෙහිදැ”යි විචාළ සේක.
“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, ඉදින් සුණාපරන්තයෝ මට බණිත් නම් තර්ජනය කෙරෙත් නම් “මොහු හොඳ මිනිස්සු ය, බණින සැර කරන නමුත් මට අතින් පයින් නො ගසති යි සිතමි” යි පුණ්ණ තෙරණුවෝ සැල කළ හ.
“පුණ්ණය! ඉදින් තට සුණාපරන්තයෝ අතින් පයින් තළත් නම් එකල්හි කෙසේ සිතන්නෙහි ද?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඉදින් සුණාපරන්තයෝ මට අතින් පයින් තළත් නම් මේ මිනිස්සු හොඳය, අතින් පයින් ගසත්, මුත් මොහු මට ගල්වලින් නො ගසති යි සිතමි.”
“පුණ්ණය, සුණාපරන්තයෝ ගල්වලින් ගසත් නම් එකල්හි කෙසේ සිතන්නෙහි ද?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සුණාපරන්තයෝ මට ගල් ගසත් නම් මේ මිනිස්සු හොඳ ය. ගල් ගසන නමුත් මොහු මට පොලුවලින් නො ගසති යි සිතමි.”
“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ පොලුවලින් ගසත් නම්, එකල්හි කෙසේ සිතන්නෙහි ද?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ මිනිස්සු හොඳ ය. මොවුන් මට පොලුවලින් ගසන නමුත් ආයුධවලින් පහර නො දෙති යි සිතමි.”
“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ තට ආයුධවලින් පහර දෙත් නම්, එකල්හි කෙසේ සිතන්නෙහි ද?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, “මේ මිනිස්සු හොඳ ය, මොවුන් මට ආයුධවලින් පහර දෙනවා මිස, තියුණු අවි වලින් මා ජීවිතක්ෂයට නො පමුණුවති යි සිතමි.”
“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ තියුණු අවිවලින් තා මරත් නම් එකල්හි කෙසේ සිතන්නෙහි ද?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේගේ සස්නෙහි ශරීරය හා ජීවිතය කෙරෙහි කලකිරී දිවි නසා ගත හැකි ආයුධ සොයන පැවිද්දෝ ඇතහ. මට එය නො සොයාම ලැබුණේ ය යි සිතමි.”
එකල්හි තථාගතයන් වහන්සේ පුණ්ණ තෙරුන් වහන්සේට සාධුකාර දී “මෙතරම් ඉවසීමක් ඇත්තා වූ නුඹට සුණාපරන්ත ජනපදයෙහි විසිය හැකි වන්නේ ය” යි වදාරා එහි යෑමට අවසර දුන් සේක.
පුණ්ණ තෙරුන් වහන්සේ සුණාපරන්තයට ගොස් ඒ වස්කාලය තුළදී උපාසකයන් පන්සියයක් හා උපාසිකාවන් පන්සියයක් ද ඇති කොට තමන් වහන්සේ ද අර්හත්වයට පැමිණ පිරිනිවන් පා වදාළ සේක.
පැවිද්දන්ට ගර්හා කිරීම බැණීම ලෝකයෙහි අදත් එදත් කවදත් ඇතියකි. ලෝකයෙහි අසත්පුරුෂයෝ බොහෝ ය. ඔවුහු අනුන්ට ගර්හා කිරීමට - රිදවීමට ඉතා කැමැත්තෝ ය. ඔවුනට නිදහසේ බණින්නට ඇත්තා වූ එකම පිරිස පැවිදි පිරිසය. එබැවින් ඔවුහු පැවිද්දන්ට බැණීම මහත් රුචියකින් කෙරෙති. පැවිද්දන්ට කවර ආකාරයකින්වත් ඉන් නිදහස් ව නො විසිය හැකි ය. ඖදාරික පැවතුම් ඇති පැවිද්දාට දුශ්ශීලයෙකැයි බණිති. සන්සුන් පැවතුම් ඇති පැවිද්දාට මෝඩයෙක - කුහකයෙක කියා බණිති. වත් පොහොසත් කම් ඇති පැවිද්දාට දුශ්ශීලයෙකැයි කියති. දුප්පත් පැවිද්දාට කාලකණ්ණියෙක - පව්කාරයෙක කියා නින්දා කෙරෙති. සාමාන්‍ය පැවිද්දන්ට තබා දේවබ්‍රහ්මයන් පවා ගරු බුහුමන් වැඳුම් පිදුම් කරන බුදුරජාණන් වහන්සේට පවා බැණුමෙන් නිදහස් ව විසිය නො හැකිවිය. කොසඹෑ නුවර දී මාගන්දි, නුවරුන්ට අල්ලස් දී “ශ්‍රමණ ගෞතමයා මෙහි පැමිණිය හොත් බැණ එළවා දමාපල්ලාය”යි අණ කළාය. මිසදිටුවන් හා රත්නත්‍රයෙහි අප්‍රසන්න මනුෂ්‍යයෝ තථාගතයන් වහන්සේ ඒ නුවර වීථිවල වැඩම කරන කල්හි “ඔන්න හොරෙක්, ඔන්න ගොනෙක්, ඔන්න බූරුවෙක්” යනාදීන් අපහාස කරමින් උන් වහන්සේ ලුහු බැඳ යන්නට පටන් ගත් හ. භික්ෂූන්ට ද එසේ කළ හ. ඒ බැණීම අසා ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ කරා එළඹ, “ස්වාමීනි, මේ නුවර වැස්සෝ අපට නින්දා කරන්නා හ. තර්ජනය කරන්නා හ. අපි මෙහි මොවුන්ගෙන් අවමන් ලබමින් කුමට වෙසෙන්නෙමු ද? අපි මේ නගරය හැර යමුය” යි සැල කළහ. “ආනන්දය, කොහි යන්නෙමු ද?” “ස්වාමීනි, අනික් නගරයකට යන්නෙමු.” “ආනන්ද ය, එහි මිනිසුන් ද බණින්නට පටන් ගත හොත් කොහි යන්නෙමු ද?” “අනික් නගරයකට යමුය” යි කීහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය, එසේ කිරීම සුදුසු නැත, යම් තැනක අධිකරණයක් ඇති වුව හොත් අන් තැනකට යා යුත්තේ එය සන්සිඳුණු පසුව ය. ආනන්ද ය, යුදබිමට බට ඇතු විසින් සතර දිගින් එන පහරවල් ඉවසිය යුතු ය. එය ඌට භාර ය. ආනන්දය, මාද යුදබිමට බට ඇතකු වැනි ය. මා විසින් බොහෝ දුස්සීලයන් කරන නො මනා කථා ඉවසිය යුතු ය. ඒවා ඉවසීම මට භාර කටයුත්ත ය. මම ඒවා ඉවසමිය” යි වදාරා ධර්මදේශනාවක් කළ සේක. ධර්මදේශනාවසානයේ දී අල්ලස් ගෙන වීථිවල බණිමින් හැසුරුණු සැම දෙන ම සතුටට පත් ව බැණීම නැවැත්වූහ. බුදුන්වහන්සේට පවා අසත් පුරුෂයන්ගේ ඇණුම් බැණුම් වලින් නිදහස් ව විසිය නො හෙන කල්හි දුබල පැවිද්දන්ට ඒවායින් කෙසේ නිදහස් ව විසිය හැකි වේද? නො හැකිම ය. තථාගතයන් වහන්සේ අනුව ක්‍රියා කොට නො කිපී ඉවසීමෙන් ඒවා කෙළවර කර ගත යුතු ය. ලෝකයෙහි අසත්පුරුෂයන් ඇති තාක් පැවිද්දන්ට බැණීම නවතින්නේ නැත. පැවිද්දන්ට අපහාස කිරීම් වශයෙන් ඔවුන් කරන්නේ ඔවුන් ගේ අශීලාචාරකම විදහා පෑම ය. එක් අතකින් ඒ අපහාසය පැවිද්දාට යහපතකි. ක්ෂාන්තිය පුරුදු කිරීමට ක්ෂාන්තිපාරමිතාව පිරීමට එබඳු පිරිසක් සිටිය යුතු ය. ඉවසීමට කරුණු නො පැමිණෙතොත් ශාන්ති පාරමිතාව පිරීමට ක්‍රමයක් නැත. ක්ෂාන්තිපාරමිතාවට ආධාර කිරීම් වශයෙන් ඒ බණින අය තමාගේ උපකාරකාරයන් ලෙස පැවිද්දා විසින් සැලකිය යුතු ය. එසේ සලකන පැවිද්දාට ලෙහෙසියෙන් ම එය ඉවසිය හැකි වනු ඇත. මිනිසුන් බණිනවාය කියා මහණ කමට නො කලකිරිය යුතුය.
“බහු හි සද්දා පච්චූහා ඛමිතබ්බා තපස්සිනා,
න තේන මංකු හෝතබ්බා න හි තේන කිලිස්සති.
යෝ ච සද්ද පරිත්තාසි වනේ වාතමිගෝ විය,
ලහුචිත්තෝති තං ආහු නාස්ස සම්පජ්ජතේ වතං.”
(වන සංයුත්ත)
තේරුම:
“ලෝකයෙහි විරුද්ධ ශබ්දයෝ බොහෝ ය. පැවිද්දා විසින් ඒවා ඉවසිය යුතු ය. ඒවා නිසා දුර්මුඛ නො විය යුතු ය. ඒවායින් පැවිද්දා කිලිටි වන්නේ නැත. වනයෙහි සුළං හඬට ද බිය වී දුවන වාතමෘගයා මෙන් යමෙක් අන්‍යයන් නිකුත් කරන අවගුණ හඬට බිය වේ නම්, ඔහු පෙරළෙන සිත් ඇත්තෙකැ යි නුවණැත්තෝ කීහ. ඔහුට වෘතය සම්පූර්ණ නොවේ.” මෙහි අදහස අවගුණ හඬට බියවන පැවිද්දාට මහණකම නො කළ හැකිය යනු යි.
දීඝභාණක අභය තෙරුන් වහන්සේ මෙන් බැණුම් ඉවසීම පුරුදු කර ගත යුතු ය. උන් වහන්සේ මාගමදී මහා ආර්‍ය්‍යවංශ ප්‍රතිපදාව දේශනය කළ හ. සියලු මාගම් වැස්සෝ ඒ බණ ඇසීමට පැමිණියහ. උන් වහන්සේ ට බොහෝ පූජාසත්කාර ලැබිණ. එය දැක ඉවසිය නුහුණු එක් තෙර නමක් “දීඝභාණකයා ආර්‍ය්‍යවංශය කියමි යි මුළු රැය ම මහ කෝලාහලයක් කෙළේ ය” යනාදීන් අභය තෙරුන් වහන්සේට බණින්නට විය. පසු දින ඒ දෙනම තම තමන් ගේ විහාරවලට යන්නාහු ගවුවක් පමණ දුර එකමඟ ගිය හ. ඊර්ෂ්‍යාකාර තෙරනම මඟ දිගට ම අභය තෙරුන් වහන්සේට බැන්නේ ය. ඒ දෙනම ට මඟ වෙන් වන තැන දී අභය තෙරුන් වහන්සේ බණින තෙර නමට වැඳ මේ ඔබවහන්සේ ගේ මඟය කියා මඟ දැක්වූහ. අනික් තෙරනම නො ඇසුණාක් මෙන් ගියේ ය. අභය තෙරුන් වහන්සේ තමන් ගේ විහාරයට ගොස් පා සෝදා වැඩ හුන්හ. අතවැසි භික්ෂූහු ඒ පුවත දැන, “ස්වාමීනි, ගවුවක් දිගට බණිමින් එන කල්හිත් නුඹ වහන්සේ කිසිවක් නො කීවහුදැ” යි ඇසූහ. “ඇවැත්නි, ඉවසීම ම මට භාර ය. එක් පියවරෙක් හි ද මාගේ සිතින් කමටහන බැහැර වූ බවක් නො දනිමි” යි තෙරුන් වහන්සේ කීහ.
(මේ කථාව සබ්බාසව සූත්‍ර අටුවාවෙන් ගන්නා ලදි.)
“ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා,
නහි පබ්බජිතෝ පරූපඝාතී
න සමණෝ හෝති පරං විහේඨයන්තෝ.”
(මහාපදාන සුත්ත)
ඉවසීම උතුම් තපසෙක. බුදුවරයෝ නිවන උතුම් දෙයය යි පවසන්නා හ. අනුන්ට හිංසා කරන්නේ පැවිද්දෙක් නො වේ. අනුන්ට හිංසා කරන්නේ ශ්‍රමණයෙක් නොවේ.
ඉවසීම පැවිද්දන් ගේ ගුණයක් වන්නාක් මෙන් ම නො ඉවසිය යුතු කරුණු නො ඉවසීම ද පැවිද්දන් කෙරෙහි පිහිටිය යුතු ගුණයකි. ඒ ගුණය වඩාත් උසස් බව කිය යුතුය. පැවිද්දන් විසින් නො ඉවසිය යුතු කරුණු කොටසක් ද ඇත්තේ ය. ඒවා තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.
“ඉධ භික්ඛවෙ, භික්ඛු උප්පන්නං කාමවිතක්කං
නාධිවාසේති, පජහති, විනෝදෙති, ව්‍යන්තීකරෝති,
අනභාවං ගමේති.
-
උප්පන්නං විහිංසා විතක්කං නාධිවාසේති, පජහති,
විනෝදේති, ව්‍යන්තීකරෝති, අනභාවං ගමේති.
-
උප්පන්නප්න්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති,
පජහති, විනෝදේති, ව්‍යන්තීකරෝති, අනභාවං ගමේති.
එවං ඛෝ භික්ඛවේ භික්ඛු හන්තා හොති.”
(අංගුත්තර චතුක්ක භය වග්ග)
මේ දේශනාවෙන් දැක්වෙන්නේ කාමවිතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක යන අකුශලවිතර්කයන් හා ඊර්ෂ්‍යාමානමාත්සර්යාදි අන්‍ය පාප ධර්මයන් ද ස්වසන්තානයෙහි ඇති වීම පැවිද්දන් විසින් නො ඉවසිය යුතු බවය.
කාමවිතර්ක යනු කැමති වන ඇලුම් කරන වස්තූන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් ඇති වන කල්පනා ය. හොඳ පන්සල් සොයා ගැනීම, පන්සල ලස්සනට හොඳට සාදා ගැනීම, හොඳ බඩු සපයා ගැනීම, හොඳ දායකයන් අල්ලා ගැනීම, ගිහි බවට පැමිණීම යන මේවා ගැන ඇති වන කල්පනා පැවිද්දන්ට ඇති විය හැකි කාම විතර්කයෝ ය.
ව්‍යාපාද විතර්ක යනු ද්වේෂ සහගත කල්පනා ය. අසවලාගේ සැටි මෙහෙම ය. අසවලා අපට මෙසේ කෙළේය කියා අනුන් පිළිබඳ ව ඇති වන කල්පනාවෝ ය.
විහිංසා විතර්ක යනු අනුන්ට පීඩා කිරීම අනුන් නැසීම පිළිබඳ කල්පනාවෝ ය. මේ තුනට “අකුශල විතර්කයෝය” යි කියනු ලැබේ. අකුශල විතර්ක තුන හා අන්‍ය අකුශල ධර්ම ස්වසන්තානයෙහි ඇතිවීම පැවිද්දා විසින් නො ඉවසිය යුතුය. මෙහි නො ඉවසීමය යි කියනුයේ ඒවායින් යම් කිසිවක් ඇති වූ කල්හි එයට ස්වසන්තානයෙහි පවත්නට වැඩෙන්නට ඉඩ නො හැරීම ය. තමාගේ සන්තානයෙහි යම්කිසි පාපධර්මයක් ඇති වුවහොත්, හැඳි වතට ගිනි ගත හොත් එය නිවීමට උත්සාහ කරන්නාක් මෙන් අකුශලය දුරු කිරීමට පැවිද්දා විසින් උත්සාහ කළ යුතුය. ගමනෙහි දී උපන් පාපධර්මය ගමනෙහිදී ම දුරු කළ යුතුය. හිඳීමෙහි දී ඇති වූ අකුශල ධර්මය හිඳීමෙහිදී ම දුරු කර ගත යුතුය. සිටීමෙහි දී ඇති වූ අකුශල ධර්මය සිටීමෙහිදී ම දුරු කර ගත යුතු ය. වැතිර සිටීමේ දී උපන් අකුශලය වැතිර සිටීමේ දී ම දුරු කර ගත යුතු ය. එක් ඉරියව්වක දී ඇති වූ අකුශලය අනෙක් ඉරියව්වකට නො ගෙන යා යුතු ය.
පෙර දසනම විසිනම යනාදි වශයෙන් එක් ව විසූ ඇතැම් භික්ෂූහු “ඇවැත්නි, අපි ණයෙන් මිදෙනු පිණිස හෝ ජීවත් වීමේ ක්‍රමයක් නැති නිසා හෝ අන් කරදරයක් නිසා හෝ පැවිදි වූවෝ නො වෙමු. අපි දුකින් මිදෙනු පිණිස ම පැවිදි වූවෝ වෙමු. ඒ නිසා ගමනෙහිදී උපන් ක්ලේශය ගමනෙහිදී ම දුරු කරමුය, සිටීමෙහිදී උපන් ක්ලේශය සිටීමෙහිදී ම දුරු කරමු ය, හිඳීමෙහිදී උපන් ක්ලේශය හිඳීමෙහිදී ම දුරු කරමුය. වැතිර සිටීමේදී උපන් ක්ලේශය වැතිර සිටීමේදී ම දුරු කරමු” යයි කථා කර ගත්හ. එක් ව පිඬු පිණිස යන කල්හි (යමකුට) ඔවුන්ගෙන් එක් නමකට කලේශයන් උපනහොත් ඒ නම එකෙණෙහි ම නවතී. අනික් භික්ෂූහු ද ඔහු අනුව නවතිති. කෙලෙස් උපන් භික්ෂුව තමාට තමා ම අවවාද කර ගෙන වහා ඒ ක්ලේශය දුරු කර ගෙන ඉදිරියට යයි. ඉදින් ක්ලේශය දුරු කර ගත නො හැකි වී නම් ඒ භික්ෂුව එතැන ම හිඳ ගනී. සෙස්සෝ ද හිඳ ගනිති. එසේ හිඳ ගන්නා වූ භික්ෂූන් ගෙන් ඇතැමෙක් එතැනදී ම ක්ලේශය දුරු කොට ආර්ය භූමියට ද පැමිණ නැඟී යෙති. ඇතැමෙක් ක්ලේශය දුරු කර ගෙන නැඟී යෙති. ඒ අතීත භික්ෂූන් වහන්සේ ආදර්ශයට ගෙන සැදැහැවත් පැවිද්දෝ කාමවිතර්කාදිය නො ඉවසීම පුරුදු කෙරෙත්වා!
“ඒකෝ ධම්මේ භික්ඛවේ, ලෝකේ උප්පජ්ජමානෝ උපපජ්ජති බහුජන හිතාය, බහුජන සුඛාය, බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. කතමෝ ඒකෝ ධම්මෝ? සංඝසාමග්ගී. සංඝෙ ඛෝ පන භික්ඛවේ, සමග්ගේ න චේව අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිහාසා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛේපා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජනා හොන්ති. තත්ථ අප්පසන්නා චේව පසීදන්ති පසන්නානඤ්ච භීය්‍යෝ භාවෝ හෝති.”
(ඉතිවුත්තක පාළි)
“මහණෙනි, එක් ධර්මයක් ලෝකයෙහි උපදිනුයේ බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස බොහෝ ජනයා හට දෙවි මිනිසුන්හට අර්ථය පිණිස හිතය පිණිස උපදී. කවර එක් ධර්මයක් ද? සංඝසාමග්‍රිය ය. මහණෙනි, සංඝයා සමගි කල්හි ඔවුනොවුන් අතර වාද විවාදයෝ නො වෙති. ඔවුනොවුන් අතර නුඹලාට මෙසේ මෙසේ කරමුය යන තර්ජනයෝ ද ඇති නොවෙති. ඔවුනොවුන් අතර බැණ ගැනීම් ද නොවෙති. ඒ ඒ අය උත්ක්ෂේපණීය කර්‍මාදියෙන් බැහැර කිරීම් ද සිදු නොවෙති. ඒ සංඝසාමග්‍රිය නිසා සස්නෙහි නො පැහැදුණෝ ද පහදිති. පැහැදුණවුන් ගේ පැහැදීම ද දියුණු වේය” යනු ඉහත දැක් වූ පාඨයේ තේරුම ය.
මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ පැවිද්දන්ගේ අන්‍යොන්‍ය සමගිය ඔවුන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් ඉමහත් සැපයක් යහපතක් බවය. ඔවුනොවුන් බැණ ගැනීම් ඇන කොටා ගැනීම් මිනිස් ගති නොව තිරිසන් ගති ය. ලෝකයෙහි විනීත ශුද්ධ පුද්ගල කොටසක් ලෙස සැලකෙන පැවිද්දන් අතර ඒ තිරිසන් ගති පහත් ගති ඇති වෙනවා නම් එය ඉතා අමනෝඥය. පැවිද්දන් භේද වී වෙසෙනවා නම් ඔවුන් අතර බැණීම්, තර්ජනය කිරීම්, එකිනෙකාට පහර දීම්, ඔවුනොවුන්ගේ අගුණ පැතිරවීම්, ඔවුනොවුන්ට ආපත්ති ආදියෙන් චෝදනා කිරීම්, දුබලයන් පන්සල්වලින් නෙරපා දැමීම්, දුබලයන් ගේ පන්සල් අල්ලා ගැනීම්, නඩු කීම්, නඩු කියවීම් යන මේ පැවිද්දන්ට අයෝග්‍ය වූ පහත් ක්‍රියා සිදු වන්නේ ය. ඇතැමෙක් අනුන්ට අලාභ හානි කිරීමෙන් හා කරවීමෙන් ද අනුන් අයත් දේ අල්ලා ගැනීමෙන් ද, නඩු කීමෙන් හා නඩු කියවීමෙන් ද පාරාජිකාවට පැමිණ භික්ෂූත්වයෙන් ද පහවන්නාහ. පැවිද්දන් ඔවුනොවුන් කෝලාහල කරනු දක්නා ගිහියෝ “මොවුන් ළඟ කිසි ගුණයක් නැත. අපට තරමටවත් ගුණයක් මොවුන්ට නැත. මොවුන් ඇසුරු කිරීමෙන් මොවුනට දන් දීමෙන් අපට ඇති යහපතක් නැත ය” කියා පැවිද්දන් වර්ජනය කරන්නාහ. පහත් කොට සිතන්නාහ. එය පැවිද්දනට කොතරම් ලජ්ජාවට කරුණක් ද? යම් විහාරයක භික්ෂූහු එකිනෙකා භේද ව ඔවුනොවුන්ට වෛර කෙරෙමින් වෙසෙත් නම්, ඒ භික්ෂූන්ට දවසෙහි වැඩි කාලයක ඇති වන්නේ ද්වේෂ සහගත සිත් ය. ඒවා පව් සිත් ය. පැවිදි වන්නේ පවින් වැළකී විසීමටත් ගිහි ව ඉන්නවාට වඩා පින් සිදු කර ගැනීමටත් ය. යමකු පැවිද්දෙහි සිට දවසෙන් වැඩි වේලාවක් පව් රැස් කරනවා නම් එය ඉතා පහත් ක්‍රියාවෙකි. නිතර ද්වේෂයෙන් වෙසෙන තැනැත්තාට මරණ මොහොතෙහි දී එය අමතක කර දැමීම පහසු නො වන්නේ ය.
“ඉමම්හි චායං සමයේ කාලංකයිරාථ පුග්ගලෝ,
නිරයං උපපජ්ජෙය්‍ය චිත්තං හිස්ස පදූසිතං.”
යනුවෙන් වදාරා ඇති පරිදි ද්වේෂයෙන් මැරෙන්නට සිදු වුව හොත් ඔවුනොවුන් වෛරී ව ඉන්න ඒ භික්ෂූන්ට සිදු වන්නේ මෙලොවත් පිරිහී මරණින් මතු ද නරකයට යෑමට ය. ඉතා දුකසේ දිවි හිමියෙන් මහණකම් කොට අපායටත් යන්නට සිදු වීම කොතරම් අවාසනාවක් ද? භේද වී ඔවුනොවුන්ට රවමින් ඔවුනොවුන්ට චෝදනා කර ගනිමින් ඔවුනොවුන් ගේ වැරදි කියා ගනිමින් ඔවුනොවුන් හා වෛරී ව වෙසෙන භික්ෂූන් ඇති පන්සලත් අපායක් වැනි අවාසනාවත් තැනකි. ඔවුනොවුන් මෛත්‍රියෙන් කරුණාවෙන් වෙසෙන ගිහි ගෙය එයට වඩා යහපති. කරුණු මෙසේ හෙයින් භේදය පැවිද්දන්ට මහත් පරිහාණියක් නපුරක් බව කිව යුතු ය.
යම් තැනක භික්ෂූන් භේද භින්න වී විසීම ඒ භික්ෂූන්ට පමණක් නොව එයට සම්බන්ධ නැති භික්ෂූණ්ට ද තරමක කරදරයෙකි. ඒ විහාරවල දායකයනට ද කරදරයෙකි. භේද වී ඉන්නා භික්ෂූන්ට හිතවත් දායකයෝ ද ඥාති මිත්‍රයෝ ද ඒ භික්ෂූන් නිසා භේද වෙති. සමහරවිට ඒ නූගත් ගිහියෝ ඔවුනොවුන් විරුද්ධ වී ඉන්නා භික්ෂූන් ගේ කියුම් පිළිගෙන අධර්ම ක්‍රියාවලට සහභාගී වී අපාගත වන තැනට කරුණු ද සලසා ගනිති. තථාගතයන් වහන්සේ සංඝ භේදය දෙවියන් සහිත සියලු ලෝකයට ම නපුරකැ යි වදාළේ එහෙයිනි.
භේදවලින් තොර ව සමගියෙන් විසිය හැකි වීමට භේදයට කරුණුවන දේ සොයා ඒවා නැති කර දැමිය යුතුය. සමගියට හේතු වන කරුණු ඇති කර ගත යුතු ය. නිකාය භේද - කුල භේද - පළාත් භේදාදිය සැලකීම භේදයට එක් කරුණෙකි.
“සෙය්‍යථාපි පහාරාද, යා කාචි මහානදියො, සෙය්‍යථිදං? ගංගා යමුනා අචිරවතී සරභූ මහී, තා මහා සමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාම ගොත්තානි, මහාසමුද්දොත්වෙව සංඛං ගච්ඡන්ති. එවමෙව ඛො, පහාරාද, චත්තාරෝ මේ වණ්ණා ඛත්තියා බ්‍රාහ්මණා වෙස්සා සුද්දා, තේ තථාගතප්ප වේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, සමණා සක්‍යපුත්තියාත්වේව සංඛං ගච්ඡන්ති.”
(අංගුත්තර අට්ඨක මහාවග්ග)
යනුවෙන් ගංගා යමුනා අචිරවතී සරභූ මහී යන මහාගංගාවන් මහා සාගරයට පැමිණි කල්හි ඒවායේ පළමු නම් නැති වී පළමු පැවති ස්වභාවය නැති වී මහා සමුද්‍රය ම වන්නාක් මෙන්, නොයෙක් ජාතිවලින් නොයෙක් කුලවලින් නොයෙක් පළාත්වලින් සස්නෙහි පැවිදි වන සෑම දෙන ම පළමු පැවති නම් ගොත් නැති වී බුද්ධ පුත්‍රයන් ම වන බව තථාගතයන් වහන්සේ විසින් පහාරාද අසුරේන්ද්‍රයාහට වදාරන ලද්දේ ය. බුදුරජාණන් වහන්සේ සලකන්නේ උන්වහන්සේ ගේ සස්නෙහි පැවිදි වී ඉන්නා සැම දෙන උන්වහන්සේ ගේ පුත්‍රයන් ලෙස ය. ඒ අනුව සස්නෙහි පැවිදි වී ඉන්නා සෑම දෙන විසින් ම අන් සෑම බුද්ධ පුත්‍රයන් තමන් ගේ සොහොයුරන් ලෙස සැලකිය යුතු ය. අසවලා අසවල් කුලයේ ය, අසවල් පළාතේ ය, අසවල් නිකායේය. අසවල් හාමුදුරුවන් ගේ ගෝලයෙක කියා එක් පැවිද්දකුදු කොන් නො කළ යුතු ය.
අධික ලෝභය ද සමගිය නැති වීමේ එක් හේතුවකි. අධික ලෝභියා පන්සල්වල ඇත්තා වූ ද පන්සල්වලට ලැබෙන්නා වූ ද සැම දෙය ම තමා සතු කර ගැනීමටත් තමන් ගේ අයට අල්ලා දීමටත් උත්සාහ කරයි. එයින් ද අන්‍යයන් ගේ සිත් රිදී බිඳී භේද ඇති වේ.
අධික මානයත් අසමගියේ එක් හේතුවකි. මානාධිකයා සැම තැනදී ම තමා ම මුල් තැන ගන්නට අන්‍යයන් තමාට අනුකූල කරවා ගැනීමට උත්සාහ කරයි. තමා සංඝයා හට හා වැඩිමහල්ලන්ට අනුකූල ව විසීමට කැමති නොවේ. එයින් ඔහු අන්‍යයන්ට අප්‍රිය වෙයි.
ඊර්‍ෂ්‍යාව ද අසමගියේ එක් හේතුවකි. ඊර්‍ෂ්‍යාකාරයා අනුන්ගේ ලාභ නැති කිරීමට කීර්තිය නැති කිරීමට දායකයන් කලකිරවීමට උත්සාහ කරයි. එයින් අනුන්ගේ සිත් රිදී භේද ඇති වේ.
අධික මසුරුකම භේදයට තවත් හේතුවකි. අධික මසුරා තමන් වෙසෙන පන්සලේ අනිකකු විසීම නො ඉවසයි. තමාගේ හෝ සඟසතු වූ හෝ බඩුවලින් අනිකකු ප්‍රයෝජන ලබනවාට නො කැමති වෙයි. තමා යටතේ ඉන්නා අයකුගෙන් සුළු වැඩක්වත් අන් පැවිද්දකු කරවා ගන්නවාට නො කැමති වෙයි. තමාගේය කියා සලකාගෙන ඉන්නා දායකයන්ගෙන් හා තමන්ගේ ඥාතීන්ගෙන් අන් පැවිද්දකු ප්‍රයෝජනයක් ලබනවා නො ඉවසයි. මේවායින් ඒ පැවිද්දා අන්‍යයන්ට අප්‍රිය වීමෙන් භේද හටගනී. නො ඉවසන ගතියත් භේදයට හේතුවකි.
ඇතැම් විහාරාධිපතීහු සෙස්සන්ට සාධාරණ ලෙස නො සලකති. ඇතැම් ගුරුවරු ගෝලයන්ට සාධාරණ ලෙස නො සලකති. ඒවා ද භේදවලට හේතු ය. භේදවලට හේතු වන මේ හැම දුර්ගුණයක් ම නැති කර ගැනීමට පැවිද්දන් උත්සාහ කළ යුතු ය. සමගියට හේතු වන කරුණු සයක් ස්මරණීය ධර්ම යන නාමයෙන් තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ ය. ඒ ධර්ම පැවිද්දන් විසින් තමන් කෙරෙහි ඇති කර ගත යුතු ය.
“ඡයිමෙ භික්ඛවෙ, ධම්මා සාරාණීයා පියකරණා ගරුකරණා සංගහාය අවිවාදාය සාමග්ගියා එකී භාවාය සංවත්තන්ති. කතමෙ ඡ?
(1) ඉධ භික්ඛවෙ, භික්ඛුනො මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝව, අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංගහාය අවිවාදාය සාමග්ගියා එකී භාවය සංවත්තති.
(2) පුන ච පරං භික්ඛවෙ, භික්ඛුනෝ මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝව, අයම්පි ධම්මො-පෙ-
(3) පුන ච පරං භික්ඛවේ, භික්ඛුනෝ මෙත්තං මනෝකම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝව, අයම්පි ධම්මෝ - පෙ -
(4) පුන ච පරං භික්ඛවේ, භික්ඛු යේ තේ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසෝ පත්තපරියාපන්න මත්තම්පි තථාරූපේහි ලාභෙහි අප්පටි විභත්තභෝගී. අයම්පි ධම්මෝ - පෙ -
(5) පුන ච පරං භික්ඛවේ, භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධි සංවත්ත-නිකානි. තථාරූපේහි, සීලෙහි සීලසාමඤ්ඤගතෝවිහරති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝව, අයම්පි ධම්මෝ - පෙ -
(6) පුන ච පරං භික්ඛවේ, භික්ඛු යායං දිට්ඨි අරියා නීයානිකා නීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය. තථාරූපාය දිට්ඨියා දිට්ඨියාසාමච්ඤ්ඤගතෝ විහරති සබ්‍රහ්මචාරීසු ආවී චේව රහෝව, අයම්පි ධම්මෝ සාරාණීයෝ පිකරණෝ ගරුකරණෝ සංගහාය අවිවාදාය සාමග්ගියා ඒකීභාවාය සංවත්තති.
ඉමේ ඛෝ භික්ඛවේ, ඡ ධම්මා සාරාණීයා පියකරණා ගරුකරණා සංගහාය අවිවාදාය සාමග්ගියා ඒකීභාවාය සංවත්තන්තීති.
(අංගුත්තර ඡක්ක සාරාණීයවග්ග)
ස්මරණීය ධර්මය යි කියනුයේ ප්‍රිය භාවය ඇති කරන ගෞරවය ඇති කරන උපකාර වශයෙන් පවතින අවිවාදයට සමගියට එක් සිත් ඇති බවට හේතු වන ගුණධර්මයන්ට ය. මේ සූත්‍රයෙහි වදාරා ඇති ස්මරණීය ධර්ම සයෙන් පස්වන සවන ධර්ම දෙක ආර්‍ය්‍ය පුද්ගලයන් කෙරෙහි පමණක් ලැබෙන පෘථග්ජන පැවිද්දන්ට නැති ධර්ම දෙකකි. සාමාන්‍ය පෘථග්ජන පැවිද්දන්ට ඇති කර ගත හැක්කේ පළමුවන දෙවන තුන්වන ස්මරණීය ධර්ම තුන පමණෙකි.
ඉදිරියෙහිදීත් නැති තැනදීත් වෙනසක් නැති ව සබ්‍රහ්මචාරීන් කෙරෙහි මෛත්‍රීසහගත කාය කර්ම පැවැත්වීම ප්‍රථම ස්මරණීය ධර්මය යි.
ඉදිරියෙහිදීත් නැති තැනදීත් නොවෙනස් ව සබ්‍රහ්මචාරීන් කෙරෙහි මෛත්‍රී සහගත වාක් කර්ම පැවැත්වීම ද්විතීය ස්මරණීය ධර්මය යි.
ඉදිරියෙහිදීත් නැති තැනදීත් නො වෙනස් ව මෛත්‍රී සහගත මනඃකර්ම පැවැත්වීම තෘතීය ස්මරණීය ධර්මය යි.
වැඩි මහලු සබ්‍රහ්මචාරීන්හට ඔවුන් ඇති තැන දී ඔවුන් ඉදිරියේ දී ඔවුන් ගේ පා සිවුරු සෝදා දීම් පඬු තම්බා දීම් පඬු පොවාදීම් ඔවුන්ට පැන් එළවා තැබීම් ආදි කයින් කරන වැඩ කර දීම ඉදිරියෙහි මෛත්‍රීසහගත කාය කර්ම පැවැත්වීම ය. ඔවුන් නැති විට ද ඒවා කිරීම නැති තැන දී මෛත්‍රී සහගත කාය කර්ම පැවැත්වීම ය. ඔවුනට කරගත නො හෙන වැඩ කර දීමෙන් ද, තනි ව කළ නො හෙන වැඩ වලට සහාය වීමෙන් ද, ගිලන්වූ විට උපස්ථාන කිරීමෙන් ද තමාට බාල සබ්‍රහ්මචාරීන් කෙරෙහි මෛත්‍රී සහගත කායකර්ම පැවැත්විය යුතුය. ඉදිරියෙහි දී ත් නැති තැන දී ත් වෙනසක් නැති ව ඒ ඒ පුද්ගලයාහට සුදුසු ගෞරවය දී කථා කිරීම මෛත්‍රී සහගත වාක් කර්ම පැවැත්වීම ය. “සුවපත් වෙත්වා” යනාදීන් මෙත් වැඩීම මෛත්‍රී සහගත මනඃකර්ම පැවැත්වීම ය. පැවිද්දන් අවංකව මේ ස්මරණීය ධර්ම තුන පමණක් වුවද පවත්වනවා නම් එයින් ම ද ඔවුන් අතර සමගිය පවත්නේ ය.
සතරවන ස්මරණීය ධර්මය නම් තමාගේ පාත්‍රයට ලැබෙන ආහාර ටිකේ පටන් තමාට ලැබෙන ප්‍රත්‍යය සියල්ල ම සාංඝිකදෙයක් මෙන් සබ්‍රහ්මචාරීන්ට සාධාරණ කිරීමය, සබ්‍රහ්මචාරීන්ට දී ඉතිරි දෙයකින් පමණක් තමා යැපීමය. මෙය මහත් පරිත්‍යාග ශක්තියක් ඇති බලවත් මෛත්‍රියක් ඇති දුක් ඉවසීමේ ශක්තිය ඇති උදාර අදහස් ඇති පැවිද්දන් විසින් පමණක් පිරිය හැකි උසස් ගුණයෙකි. මෙය හොඳ හිත සමගිය තහවුරු වීමට අතිශයින් හේතු වන ගුණ ධර්මයෙකි. මේ උසස් ගුණය සැම දෙනා විසින් ම සම්පූර්ණ කළ නො හැකිවතුදු තරමක් දුරට වත් ඒ ගුණය තමන් කෙරෙහි ඇති කර ගැනීමට සියලු පැවිද්දන් විසින් ම උත්සාහ කළ යුතුය. අනුන්ගේ අමාරුකම් නො සලකන ආත්මාර්ථය පමණක් සලකන මහා ලෝභීන් වූ ඇතැම්හු යමකු දෙනවා නම් ඔහු ගැන නො බලා දෙන තැනැත්තාට ඉතිරි නො කොට සියල්ල ම ගනිති. ගත හැකි තාක් ගනිති. අනුන්ගේ දෙයක් තාවකාලික වශයෙන් ගතහොත් කිසි පරෙස්සමක් නැති ව එයින් ප්‍රයෝජනය ගෙන ඒ බඩුව විනාශ කරති. සුදුසු කාලයෙහි හිමියාට බඩුව ආපසු නො දෙති. හිමියා විසින් සොයන්නට එන තුරු ම බඩුව තමන් වෙත තබා ගනිති. යුක්තිය නො සලකා එවැනි ලාමක වැඩ කරන අවිනීත පුද්ගලයන් අතර ඉන්නා ගුණවතුන්ට ද මේ සතරවන ස්මරණීය ධර්මය නොපිරිය හැකිය.
එක් කලෙක ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් නන්දිය ආයුෂ්මත් කිම්බිල යන මහතෙරුන් වහන්සේ තෙනම ගෝසිංහ නමැති වනයක විසූහ. සමගියෙන් වාසය කරන්නා වූ ඒ තෙරුන් වහන්සේලා කෙරෙහි ප්‍රසන්න වූ තථාගතයන් වහන්සේ එක් දිනක සවස් කාලයෙහි ඒ කුලපුත්‍රයන් වහන්සේලා තෙනමට අනුග්‍රහ පිණිස තනිව ම ගෝසිංහ සාලවනය බලා වැඩම කළ සේක. ඒ වනයේ මුර කරුවා දුරදී ම තථාගතයන් වහනසේ දැක “ශ්‍රමණය, මෙහි නො එව, මෙහි වැඩ කැමති කුලපුත්‍රයෝ තිදෙනෙක් වාසය කරති, මෙහි අවුත් ඔවුනට කරදර නො කරනු” යයි කීය. මේ කථාව ඇසී අනුරුද්ධ තෙරුන් වහන්සේ නැගිට බලන්නාහු බුදුන් වහන්සේ දැක හැඳින “පින්වත, භාග්‍යවතුන් වහන්සේ නො නවත්වන්න, ඔය පැමිණ සිටින්නේ අපගේ ශාස්තෘන් වහන්සේ” යි කීහ. ඉක්බිති නන්දිය, කිම්බිල යන තෙරුන් වහන්සේ දෙනමත් කැඳවා ගෙන තථාගතයන් වහන්සේට පෙර ගමන් කළහ. එක් නමක් තථාගතයන් වහන්සේගේ පා සිවුරු පිළිගත්තේය. එක් නමක් අසුනක් පැනවීය. එක් නමක් පා දෝනා පැන් තැබීය. තථාගතයන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩ හිඳ පා සෝදා ගත් සේක. ඒ තෙරවරු ද තථාගතයන් වහන්සේ වැඳ එකත් පසෙක හිඳ ගත්තෝය. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ තෙරුන් වහන්සේලා හා පිළිසඳර කථා කරන සේක්:
“කච්චි පන වෝ අනුරුද්ධ, සමග්ගා සම්මෝදමානා අවිවදමානා ඛිරෝදකීභුතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථ”
“කිමෙක් ද? අනුරුද්ධයෙනි, තෙපි සමගියෙන් සතුටින් වාද නො කරමින් ඔවුනොවුන් ප්‍රියචක්ෂුසින් බලමින් කිරි හා දිය මෙන් වී වසන්නහු දැ” යි විචාළ සේක. “එසේය ස්වාමීනි” යි අනුරුද්ධ තෙරුන් වහන්සේ පිළිවදන් දුන්හ. ඉක්බිති තථාගතයන් වහන්සේ “අනුරුද්ධයෙනි, තෙපි කෙසේ ඔවුනොවුන් කිරි හා දිය මෙන් වී සමගියෙන් වසන්නාහු දැ” යි විචාළ සේක.
එකල්හි අනුරුදු තෙරණුවෝ සැලකරන්නාහු “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා හා වාසයකරන්නට ලැබීම මට මහත් ලාභයක් ය යහපතක් ය” කියා මම සිතමි, මම ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ඉදිරියේ දී ත් නැති තැනදීත් නො වෙනස් ලෙස මෛත්‍රී සහගත කායකර්ම, මෛත්‍රී සහගත වාක් කර්ම, මෛත්‍රී සහගත මනඃකර්ම පවත්වමි. එසේ පවත්වන්නා වූ මම මාගේ සිතට අනුව ක්‍රියා නො කොට මේ ආයුෂ්මතුන් වහන්සේලා ගේ සිත අනුව ක්‍රියා කරමි. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපගේ ශරීර තුනක් වුව ද සිත නම් එකම ය” යි සැලකළ සේක. නන්දිය තෙරුන් වහන්සේ හා කිම්බිල තෙරුන් වහන්සේ ද එසේ ම සැලකළෝ ය.
තථාගතයන් වහන්සේ ඒ තෙරුන් වහන්සේලා ගේ සමගියෙන් විසීම ගැන සාධුකාර දී ඉක්බිති “කිමෙක් ද අනුරුද්ධයෙනි, තෙපි අප්‍රමාද ව වාසය කරන්නාහු දැ”යි අසා වදාළ සේක. එකල්හි අනුරුද්ධ තෙරුන් වහන්සේ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපෙන් යම් තෙරනමක් පිඬු පිණිස හැසිර පළමු කොට විහාරයට පැමිණියේ නම්, ඒ නම අසුන් පනවන්නේ ය, පැන් ගෙනැවිත් තබන්නේය, අතිරේක ආහාර දමන භාජනය තබන්නේ ය. යමකු පසුව ගමින් ආයේ නම් ඒ නම කැමති නම් අතිරේක ආහාර ගෙන වළඳන්නේ ය. නො කැමැත්තේ නම් අතිරේක ආහාර ඉවත් කොට භාජනය සෝදා තබන්නේය. ආසන අකුලා තැන්පත් කර තබන්නේය. පැන් තැබූ භාජන තැන්පත් කරන්නේය. භෝජන ශාලාව අමදින්නේය. භාජනයක පැන් අවසන් වී තිබෙනවා යමකු දුටුයේ නම් ඒ නම එහි පැන් පුරවා තබන්නේය. පැන් බඳුන තනි ව නො ගෙනා හැකි නම් අතින් සංඥා කොට අන් නමක් කැඳවා පැන් භාජනය ගෙනෙන්නේය. ඒ නිසා අපි වචනයක් වියදම් නො කරන්නෙමු. භාග්‍යවතුන් වහන්ස, අපි පස් දිනකට වරක් එක් රාත්‍රියක් මුළුල්ලෙහි ධර්ම කථාවෙන් හිඳින්නෙමුය” යි සැල කළහ. ඒ කථාව අසා ද තථාගතයන් වහන්සේ සාධුකාර දුන්හ.
“සන්නිපතිතානං වෝ භික්ඛවේ, ද්වයං කරණීයං, ධම්මිවා කථා අරියො වා තුණ්හීභාවො”
(උදාන නන්දවග්ග)
“මහණෙනි, එක් රැස් වූ තොපට කටයුතු දෙකකි. එනම්, දැහැමි කථාව හෝ ආර්‍ය්‍ය වූ තුෂ්ණීම් භාවය” ය යනු එහි තේරුම ය.
පැවිද්දන් දෙදෙනකු හෝ වැඩිදෙනකුන් හෝ එක් රැස් වූ කල්හි පන්සල් සෑදීම්, ගහකොළ වැවීම්, දායකයන් වැඩි කර ගැනීම් ආදිය පිළිබඳ වූ ලාමක කථා නොකොට දැහැමි කථාවක් කළ යුතු ය. එබඳු කථාවක් කිරීමට කරුණු නැති නම් ආර්‍ය්‍ය වූ තුෂ්ණීම් භාවයෙන් විසිය යුතු ය. අනාර්‍ය්‍ය තුෂ්ණීම් භාවය, ආර්‍ය්‍ය තුෂ්ණීම් භාවය යි තුෂ්ණීම්භාවය දෙකකි. ඔවුනොවුන් හා කථාවකුත් නැති, යහපත් කල්පනාවකුත් නැති ගවාදි සතුන්ගේ තුෂ්ණීම් භාවයත් කාමවිතර්කාදියෙන් යුත් තුෂ්ණීම් භාවයත් අනාර්‍ය්‍ය තුෂ්ණීම් භාවය ය. එය ද පැවිද්දන්ට අයෝග්‍යය ය. යම්කිසි ධර්මයක් ගැන සිතමින් හෝ ආත්මාර්ථ පරාර්ථ සාධක සත්ක්‍රියාවක් ගැන සිතමින් හෝ තමා පුරුදු කරන කමටහනක් සිහි කරමින් හෝ විසීම ආර්‍ය්‍ය තුෂ්ණීම් භාවය ය. සමාපත්ති ලාභීන්ගේ සමවතට සමවැදී විසීම උසස් ආර්‍ය්‍ය තුෂ්ණීම් භාවය ය.
“න ඛෝ පනේතං භික්ඛවේ, තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං යං තුම්හේ අනේකවිහිතං තිරච්ඡානකථං අනුයුත්තා විහරෙය්‍යාථ, සෙය්‍යථිදං? රාජකථං චෝරකථං මහාමත්තකථං සේනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඥාතිකථං යානකථං ගාමකථං ජනපදකථං ඉත්ථිකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපේතකථං නානත්තකථං ලෝකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉතිවානි.”
(අංගුත්තර දසක යමක වග්ග)
මේ පාඨයෙන් දැක්වෙන්නේ නිවන් ලබනු රිසියෙන් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්‍රයන්හට රාජකතාදි තිරශ්චීන කථාවලින් කාලය ගෙවා දැමීම නුසුදුසු බව ය. තමාගේ අගනා කාලය අපගේ යන බැවින් ද රසවිඳීම් වශයෙන් රාජකථාදිය කිරීමේදී රාගාදි කෙලෙසුන් වැඩෙන බැවින් ද රාජකථාදිය පැවිද්දන්ට අයෝග්‍යය, රස විඳීම් වශයෙන් නොව පින් පව්වල විපාක දැක්වීම්, පින් කිරීමට ජනයා උනන්දු කරවීම් ආදි ප්‍රයෝජනවත් කරුණු සඳහා දහම් සොඬ රජුගේ කථාව, ධර්මාශෝක රජුගේ කථාව දුටු ගැමුණු රජුගේ කථාව වැනි කථා කීම සුදුසු ය. සංවේගය ඇති වීම සඳහා අනිත්‍යතාව දැක්වීම් වශයෙන් රාජකථාදිය කීම ද වරද නැත.
මේ කථා අතුරෙන් “කුම්භට්ඨාන කථා” යනු තොටු පොළ පිළිබඳ කථා හෝ කුම්භදාසීන් පිළිබඳ කථා ය. ඒ දාසීහු නැටීමට ගී කීමට සමත් ය යනාදි කථා නුසුදුසු ය. ඔවුන්ගේ සිල්වත් කම් ගුණවත් කම් පිළිබඳ කථා අයෝග්‍ය ය. “පුබ්බපේතකථා” යනු අතීත ඥාතීන් පිළිබඳ කථා ය. අප අසවල් ඥාතිවරයා මෙසේ දැහැමින් ජීවත් වූයේය, මෙසේ රත්නත්‍රයෙහි පැහැදී සිටියේ ය, මේ මේ පින්කම් කෙළේ ය යනාදි කථා කිරීම අයෝග්‍ය නොවේ. “නානත්තකථා” යනුවෙන් අදහස් කරන්නේ මෙහි නො කියවුණ තවත් ඇති අනේකප්‍රකාර තිරශ්චීන කථා ය. “භවාභවකථා” යනු දියුණුව පිරිහීම පිළිබඳ නිරර්ථක කථාය.
“අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, විරියාරම්භකථා, සීලකථා, සමාධි කථා, පඤ්ඤාකථා, විමුක්ති කථා, විමුත්තිඤාණ දස්සනකථා”
යන මේ දශ කථාව භික්ෂූන් විසින් එක් තැන් වූ විට කළ යුතු කථාය.
අප්පිච්ඡකථා යනු ආශාවල් නැති කර ගැනීම් අඩු කර ගැනීම් පිළිබඳ කථා ය. “සන්තුට්ඨිකථා” යනු ලද දෙයින් ලද පමණින් සතුටු වීම පිළිබඳ කථාය. පවිවේක කථා යනු කාය විවේක චිත්ත විවේක, උපධි විවේක යන විවේක තුන පිළිබඳ කථා ය. කාය විවේකය යනු තවත් අය එකතු කර නොගෙන තනිව ම විසීමය. ගමනාදි සියලු ක්‍රියා තනි ව ම කිරීමය. චිත්තවිවේක යනු කාමච්ඡන්දාදීන්ගෙන් තොර අෂ්ටසමාපත්තීහු ය. උපධි විවේක යනු ක්ලේශස්කන්ධ අභිසංස්කාර සංඛ්‍යාත උපධීන්ගෙන් මිදුණු නිවන ය. කායවිවේකය ඉතිරි විවේකයන් ලැබීමට හේතු වේ. පැවිද්දන් විසින් පළමුවෙන් කාය විවේකය ඇති කර ගත යුතුය.
“යථා බ්‍රහ්මා තථා එකෝ යථා දේවෝ තථා දුවේ,
යථා ගාමෝ තථා තයෝ කෝලාහලං තදුත්තරි.”
(යසෝජත්ථෙර ගාථා)
තනි වූයේ බ්‍රහ්මයා වැනි ය. දෙවැන්නකු ඇත්තේ දෙවියකු වැනි ය. තිදෙනෙකු ඇති තැන ගමක් වැනි ය. තවත් වැඩි නම් එතැන කෝලාහල ය. මෙය පැවිද්දන් සිහි කළ යුතු උපදේශයෙකි.
“අසංසග්ගකථා” යනු පඤ්චවිධ සංසර්ගයෙන් මිදීම පිළිබඳ වූ කථා ය. ශ්‍රවණ සංසර්ගය, දර්ශන සංසර්ගය, සමුල්ලපන සංසර්ගය, සම්භෝග සංසර්ගය, කාය සංසර්ගය කියා සංසර්ගය පඤ්චප්‍රකාර වේ. ස්ත්‍රියකගේ වර්ණනාව ඇසීමෙන් ඇතිවන රාගය ශ්‍රවණ සංසර්ගය ය. ස්ත්‍රියක දැකීමෙන් ඇති වන රාගය දර්ශන සංසර්ගය ය. ස්ත්‍රියක හා කථා කිරීමෙන් ඇති වන රාගය සමුල්ලපන සංසර්ගය ය. අනිකකුගේ වස්තු පරිභෝගයෙන් හටගන්නා රාගය සම්භෝග සංසර්ගය ය. අත් ඇල්ලීම් ආදි වශයෙන් ඇති වන රාගය කාය සංසර්ගය ය.
“විරියාරම්භකථා” යනු ගමනෙහි දී උපන් කෙලෙස් ගමනෙහි දී ම දුරු කර ගැනීම් ආදිය සඳහා කරන වීර්‍ය්‍යය පිළිබඳ කථා ය. ශීල සමාධි ප්‍රඥා කථා ගැන කිය යුත්තක් නැත. “විමුත්තිකථා” යනු සතර ඵලය පිළිබඳ කථා ය. “විමුත්තිඤාණදස්සන කථා” යනු එකුන් විසි ප්‍රත්‍යවේක්ෂා ඥාන පිළිබඳ කථා ය.
පැවිද්දා කවදාවත් ජීවිතය නිසාවත් බොරු නොකියන පරම සත්‍යවාදියකු විය යුතු ය. කවර කමට වුව ද බොරුවක් කීමෙන් සාමණේර පැවිද්දන්ගේ ශීලය සම්පූර්ණයෙන් නැති වේ. ළදරුවෝ විශේෂයෙන් ම බොරු කීමට කැමැත්තෝ ය. ඔවුනට එය විනෝදයෙකි. ඔවුහු විනෝදය පිණිස දුටු දෙය “නුදුටුම්හ” යි කියති. නුදුටු දෙය “දුටුවෙමු” යි කියති. තථාගතයන් වහන්සේ රාහුල සාමණේරයන් අතින් එබඳු දේ සිදු නොවීම පිණිස ඒ කුඩා නමට නිතර අවවාද කළ සේක. එක් සමයෙක් හි රාහුල සාමණේරයෝ විවේකකාමීන් වෙසෙන අම්බලට්ඨිකා නම් වූ පහයෙහි මහණදම් පුරමින් විවේකයෙන් විසූහ. තථාගතයන් වහන්සේ එක් හවස් කාලයෙක රාහුල සාමණේරයන් දක්නට එහි වැඩි සේක. රාහුල සාමණේරයෝ තථාගතයන් වහන්සේ වැඩම කරනු දැක අසුනක් පනවා පා සෝදනු පිණිස පැන් ද තැබූහ. තථාගතයන් වහන්සේ එහි වැඩ හිඳ පා සෝදා බඳුනෙහි පැන් ස්වල්පයක් ඉතිරි කොට රාහුල සාමණේරයන්ට දක්වා රාහුල සාමණේරයන් අමතා, “රාහුලය, මේ බඳුනෙහි ඇති වතුර ස්වල්පය තොපට පෙනෙනවා නොවේ දැ” යි වදාළ සේක. “එසේ ය” යි රාහුලයෝ සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “රාහුලය, යමෙකුට දැන දැන බොරු කීමට ලජ්ජා නැති ද ඔහුට ඇත්තා වූ මහණකම මේ වතුර ටික සේ ම සුළු ය” යි වදාළ සේක.
ඉක්බිති තථාගතයන් වහන්සේ එහි ඉතිරි වී තුබූ වතුර ස්වල්පය අහක දමා රාහුල සාමණේරයන් අමතා “රාහුලය, මේ අහක දමා ඇති වතුර ටික පෙනෙනවා නොවේදැ” යි වදාළ සේක. රාහුල සාමණේරයෝ “එසේ ය” යි පිළිතුරු දුන්හ. එකල්හි තථාගතයන් වහන්සේ “රාහුලය, යමෙකුට දැන දැන බොරු කීමට ලජ්ජා නැති ද ඔහුගේ මහණකමත් මෙසේ ම අහක දමන ලද්දකැ” යි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ භාජනය මුණින් නමා දක්වා “රාහුලය, යමෙකුට දැන දැන බොරු කීමේ ලජ්ජා නැති නම් ඔහුගේ මහණකමත් මෙසේ ම යටිකුරු වූවකැ” යි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ භාජනය උඩට හරවා තබා “රාහුලය, යමෙකුට දැන දැන බොරු කීමේ ලජ්ජාව නැති නම් ඔහුගේ මහණකම මෙසේ ම හිස් වූවකැ” යි වදාළ සේක.
ඉක්බිති තථාගතයන් වහන්සේ “රාහුලය, යුද බිමට ගෙන ගිය රජුගේ ඇතු සොඬ මුව තුළ ලා පරෙස්සම් කරමින් යම් තාක් අනික් ශරීරාවයව වලින් වැඩ කරන්නේ ද එතෙක් ඌ ජීවිතය නො හළේ ය. සොඬ ද පිටතට ගෙන එයිනුත් යුද කරන්නට පටන් ගත්තේ නම් ඌ ජීවිතාශාව හැර දැම්මේ ය. ඉන්පසු, ඌට නො කළ හැකි දෙයක් නැත. ඌ නො කරන දෙයක් නැත. රාහුලය, එසේ ම යම් පැවිද්දකු දැන දැන බොරු කීමේ ලජ්ජාව නැති ද ඔහුට නො කළ හැකි පාපයක් නැතැ යි මම කියමි. රාහුලය, එබැවින් සිනාවටවත් බොරුවක් නො කියමි යි හික්මිය යුතුය” යි වදාළ සේක.
බොරු කියන පැවිද්දා කෙබන්දෙක් ද යන බව මේ රාහුලෝවාදය අනුව සලකා ගත යුතු ය. මතු දැවෙන දේශනා ද පැවිද්දන් පාඩම් කර ගෙන විටින් විට සිහි කළ යුතු ය.
“ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ,
විතිණ්ණපරලෝකස්ස නත්ථි පාපං අකාරියං”
(ධම්මපද ලෝකවග්ග)
සත්‍යයෙහි පිහිටීම නැමති එක් ගුණධර්මයක් අත්හළ දැන දැන බොරු කියන්නා වූ පරලොවක් ගැන බලාපොරොත්තු හළ තැනැත්තාට නො කළ හැකි පවක් නැත.
“න මුණ්ඩකේන සමණෝ අබ්බතෝ අලිකං භණං,
ඉච්ඡාලෝභසමාපන්නෝ සමණෝ කිං භවිස්සති.”
(ධම්මපද ධම්මට්ඨ වග්ග)
හිස මුඩු කොට තිබීමෙන් ම පැවිද්දෙක් නො වේ. සිල් නැති බොරු කියන ඉච්ඡා - ලෝභ දෙකින් යුත් තැනැත්තා කෙසේ ශ්‍රමණයෙක් වේ ද?
අධිමුත්තසාමණේර නම සංකිච්ච තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකි. දිනක් සංකිච්ච තෙරුන් වහන්සේ අධිමුත්ත සාමණේරයන් අමතා “සාමණේරය, දැන් ඔය නම ලොකු ය, උපසම්පදා කිරීම සඳහා ගෙදර ගොස් වයස අසා දැන ගෙන එන්න” යයි කීහ. සාමණේර නම “එසේ ය, ස්වාමීනි” යි කියා පාසිවුරු ගෙන පිටත් විය. ඒ නම ක්‍රමයෙන් සොරුන් වෙසෙන මහ වනයෙන් මොබ නැඟණියන් වසන ගමෙහි පිඬුපිණිස හැසිරිණ. නැඟණියෝ සාමණේර නම දැක වැඳ සිය නිවසෙහි වඩා හිඳුවා වැළඳ වූහ. වළඳා අවසානයෙහි සාමණේර නම තමාගේ වයස ඇගෙන් විචාළේ ය. ඕ තොමෝ මෑණියන් මිස එය තමා නො දන්නා බව කීවා ය. “එසේ නම් මම මෑණියන් වෙත යමි” යි කියා සොරුන් වෙසෙන වනයෙන් ඔබ මෑණියන් වෙසෙන ගමට යනු පිණිස වනයට ඇතුළු විය. එහි දී සොරු සාමණේර නම අල්ලා ගත් හ. තමන් එහි වෙසෙන බව ජනයාට ආරංචි නොවනු පිණිස වනයට ඇතුළු වුණු, ගන්නට ධනයක් නැති අය ද මරා දැමීම සොරුන්ගේ සිරිත ය. පැවිද්දකු නිසා සාමණේර නම අත හැර දැමීමට සමහර සොරු කථා කළහ. සමහරු මරා දමන්නට කථා කළහ. ඔවුන්ගේ කථා ඇසූ සාමණේර නම “මා තව ම ශ්‍රමණ කෘත්‍යය මුදුන්පත් කරගෙන නැත. මම ඉදිරියට කටයුතු ඇති ශෛක්ෂයෙක්මි. ඒ නිසා මොවුන් හා කථා කොට මොවුන්ගෙන් නිදහස් වන්නෙමි” යි සිතා සොර දෙටුවාට කථා කොට,
“ඇවැත්නි, නුඹට උපමාවක් කියන්නෙමි” යි මෙසේ කීය.
“අහූ අතීතමද්ධානං අරඤ්ඤස්මිං බ්‍රහාවනේ,
චේතෝ කූටානි ඔඩ්ඪෙත්වා සසකං අවධී තදා.
-
සසකඤ්ච මතං දිස්වා උබ්බිග්ගා මිගපක්ඛිනෝ,
එකරත්තිං අපක්කාමුං අකිච්චං වත්තතේ ඉධ.
-
තථෙව සමණං හන්ත්වා අධිමුත්තං අකිඤ්චනං
අද්ධිකා නාගස්මිස්සන්ති ධනංජානි භවිස්සථ”
පෙර මහ වනයෙහි වැද්දෙක් උගුල් අටවා සාවකු මැරීය. ඒ වනයෙහි විසූ සියලු සත්තු සාවා මැරී සිටිනවා දැක බිය පත්ව “මෙහි නපුරක් ඇත” යයි එදින ම වනය හැර පලා ගියෝය. එයින් මේ වනයෙහි වැද්දාට දඩයම් නැති විය. මා මැරුව හොත් නුඹලාටත් එබන්දක් සිදු වනු ඇත. මා මරා නුඹලාට මාගෙන් ගන්නට දෙයක් ද නැත. මා මැරුව හොත් මේ වනයට ඇතුළු වුණු පැවිද්දකුට පවා ආපසු එන්නට නො ලැබෙති යි කියා ඉන්පසු කිසි ම මිනිසකුදු මේ වනයට ඇතුළු නො වෙනවා ඇත. එයින් නුඹලාට ධන හානියක් වෙනවා ඇත. සාමණේර නමගේ කීම අසා සිටි සොරු මේ පැවිද්දා කියන කරුණ සත්‍යයෙකැයි තමන් වනයෙහි ඇති බව පෙරමග එන කිසිවකුට නො කියන ලෙස සාමණේර නම පොරොන්දු කරවා ගෙන නිදහස් කර හැරියෝ ය. සොරුන්ගෙන් නිදහස ලැබ යන අධිමුත්ත සාමණේර නමට ඒ වනය පසු කර යන්නට එන තමාගේ මා පිය දෙදෙන තමාගේ සහෝදරිය හා සහෝදරයා ද සමග පෙරමග හමුවූහ. සාමණේර නම තමාගේ මාපියන් නිසා ද පොරොන්දුව කඩ නො කෙළේ ය. සත්‍යයෙහි පිහිටා ඉදිරියට ගමන් කෙළේ ය. වනයෙහි දී සාමණේර නමගේ නෑ පිරිස සොරුන් විසින් ගන්නා ලද හ. එකල් හි සාමණේර නමගේ මෑණියෝ මේ විපත දැන ගෙන ද “අධිමුත්තයෝ අපට නො කීහ” යි සාමණේර නම ගැන සඳහන් කරමින් හඬන්නට පටන් ගත් හ. එය ඇසූ සොරා “අධිමුත්ත සාමණේරයෝ නුඹේ කවුදැ” යි ඇසී ය. ඕ තොමෝ “මම අධිමුත්තගේ මව ය, මේ අධිමුත්තගේ පියා ය, මේ දෙදෙන අධිමුත්තගේ සහෝදරිය හා සහෝදරයා” යයි කීවා ය.
“ඒතං ඛෝ වත්තං සමණානං අරියානං ධම්මජීවිනං
සච්චවාදී අධිමුත්තෝ යං දිස්වා න නිවාරයේ
-
අධිමුත්තස්ස සුචිණ්ණේන සච්චවාදිස්ස භික්ඛුනෝ
සබ්බේව අභයං පත්තා සොත්ථිං ගච්ඡන්තු ඤාතයෝ.”
“එකල්හි සොරු මේ පොරොන්දු කඩ නො කිරීම සත්‍යයෙහි පිහිටීම ධර්මයෙන් ජීවත් වන ආර්‍ය්‍ය වූ ශ්‍රමණයන්ගේ යුතුකම ය. නුඹලාට කාරණය නොකී නුඹලා නො නැවැත් වූ අධිමුත්ත සත්‍යවාදියෙක, අධිමුත්තගේ ඒ යහපත් පැවැත්ම නිසා නුඹලා ද නිදහස් කරමු” යි කියා ඔවුන් ද නිදහස් කර හැරියෝ ය. ඔවුහු නිදහස් වී අධිමුත්තයන් වෙත ගොස් “දරුව, සත්‍යවාදී පැවිද්දකු වූ ඔබගේ යහපත් පැවැත්ම නිසා අපි ද නිදහස ලැබුවෙමු” යි කියා සාමණේර නමට ස්තුති කළෝ ය. ඒ සොරු ද අධිමුත්ත සාමණේර නමගේ ගුණයෙහි පැහැදී සොරකම් කිරීම හැර පැවිදි ව උපසම්පදාව ද ලබා අධිමුත්තයන්ගේ අවවාදානුශාසනා අනුව පිළිපැද සැම දෙන පසු කාලයේ දී රහත් වූහ.
එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ අසූ කෙළක් ධනය ඇති බමුණු කුලයක උපන් හ. ශරීරය රන්වන් වූයෙන් “හරිත්තච” යන නාමය උන් වහන්සේට තැබූහ. මා පියන්ගේ ඇවෑමෙන් උන් වහන්සේ ධනය බලා “ධනය පමණක් පෙනෙන්නට ඇත. මේ ධනය ඉපයූ අය පෙනෙන්ට නැත. මරණය හැමට ම සාධාරණ ය. මා විසින් ද මේ ධනය හැර යා යුතු ය. මේ ධනය අයත් කර ගෙන විසීමෙන් මට පලක් නැතය” යි කල්පනා කොට සියලුම ධනය දන් දී හිමාලය වනයට ගොස් පැවිදිව පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවා එහි චිරකාලයක් වාසය කොට, ලුණු ඇඹුල් සෙවුනා පිණිස බරණැස් නුවරට පැමිණ පිඬු සිඟා වඩනාහු රාජද්වාරට පැමිණියෝ ය.
රජතුමා උන් වහන්සේ දැක පැහැදී රජ ගෙදරට කැඳවා ඔසවන ලද සේසත් ඇති රාජාසනයෙහි වඩා හිඳුවා නානාග්‍රරස භෝජනයක් පිළිගැන්වී ය. වළඳා අවසානයේ තාපසයෝ රජතුමාට දහම් දෙසූහ. අනුමෝදනාවසානයෙහි රජතුමා වඩාත් පැහැදී “නුඹ වහන්සේ කොහි වඩනාහු දැ” යි අසා “මහරජ, වස් විසීමට තැනක් බලා ඇවිදින්නෙමු” යා කී කල්හි රජතුමා බෝසතාණන් සමඟ උයනට ගොස්, එහි උන් වහන්සේට වාසස්ථාන පිළියෙළ කරවා උයන්පල්ලා සේවකයකු කොට දී තාපසයන්ට එහි වෙසෙමින් දිනපතා රජ ගෙදරට පැමිණෙන ලෙස ආරාධනා කොට ගියේ ය. බෝසතාණෝ දිනපතා රජ ගෙදර දන් වළඳමින් එහි දොළොස් වසක් විසූහ. එක් දවසක් රජතුමා ප්‍රත්‍යන්තයෙහි හටගත් කැරැල්ලක් සන්සිඳවන්නට යන්නේ බෝසතාණන්ට උපස්ථාන කිරීම දේවියට භාර කොට ගියේ ය. එතැන් පටන් ඕ සියතින් ම බෝසතාණන්ට උපස්ථාන කළා ය.
එක් දවසක් ඕ තොමෝ බෝසතාණන් වහන්සේට බොජුන් පිළිවෙළ කොට තබා බෝසතාණන් වහන්සේගේ පැමිණීම පසු වන බැවින් සුවඳ පැනින් නා සියුම් සළුවක් හැඳ කවුළුවක් හැර ශරීරයට සුළං වදිනු පිණිස එය සමීපයෙහි කුඩා ඇඳක වැතිර සිටියා ය. එදින බෝසතාණෝ බොහෝ දවල් වූවාට පසු හැඳ පෙරවා ආහාර වළඳන භාජනය ගෙන අහසින් ම සී මැදුරු කවුළුව වෙත පැමිණියහ. බෝසතාණෝ ගේ වැහැරි සිවුරු හඬ ඇසී දේවිය වහා ඇඳෙන් බසින්නී හැඳිවත ශරීරයෙන් ලිස්සා වැටිණ. විෂභාගාරම්මණය බෝසතාණන් ගේ ඇසෙහි ගැටීමෙන් කල් යට පත් කර නෙ තුබූ කාමරාගය නැගිණ. එයින් ධ්‍යානය අතුරුදහන් විය.
එකෙණෙහි සිහිය පිහිටුවා ගැනීමට නො සමත් වූ බෝසතාණෝ දේවිය වෙත ගොස් ඇගේ අත අල්ලා ගත්හ. සෙස්සෝ තිරයකින් ඒ දෙදෙන මුවා කළහ. බෝසතාණෝ දේවිය හා ලෝකාස්වාදය විඳ, වළඳා පයින් ම උයනට ගිය හ. එදින පටන් බෝසතාණෝ රජගෙදර දිනපතා යෙමින් එසේ ම හැසිරෙන්නට වූහ. ඒ ප්‍රවෘත්තිය මුළු නුවර ම පැතිර ගියේ ය. ඇමතියෝ හරිත්තච තවුසන් ගේ ක්‍රියාව දන්වා රජුට හසුන් යැවූහ. රජතුමා එය විශ්වාස නොකොට ප්‍රත්‍යන්තය සන්සිඳුවා බරණැසට අවුත් නුවර ප්‍රදක්ෂිණා කොට දේවිය වෙත ගොස් දේවියගෙන් “ඒ පුවත සැබෑදැ”යි ඇසීය. “දේවයන් වහන්ස සැබෑ” යයි ඕ ද කීවාය. තාපසයන් කෙරෙහි මහත් විශ්වාසයක් ඇති බැවින් රජතුමා එපමණකින් ද කාරණය නො පිළිගත්තේ ය. එතුමා “තාපසයන්ගෙන් ම මෙහි සත්‍යාසත්‍යභාවය දැන ගනිමි” යි උයනට ගොස් තාපසයන්ගෙන් “එපුවත සැබෑදැ”යි විචාළේ ය.
බෝසතාණෝ ඒ පුවත රජු තමා හා බිඳවීමට ගෙතූ බොරුවකැයි කියුව හොත් රජතුමා පිළිගන්නා බව දන්නාහ. එහෙත් උන්වහන්සේ රජු රවටන්නට නො සිතූහ. “සත්‍යය හළ අයට ලොවුතුරා බුදු බව නො ලැබිය හැකි ය. ලොවුතුරා බුදු බව බලාපොරොත්තු වන මා කුමක් සිදු වුවත් සත්‍යය ම කිය යුතු ය” යි සිතා “මහරජාණෙනි ඔබගේ ඇසීම සැබෑය. මම මුළා වී නො මඟ ගියෙමි”යි සත්‍යය ම පැවසූහ. නුවණැති රජතුමා බෝසතාණන් කෙරෙහි නො කිපිණ. එතුමා “නැඟ ආ රාගය සන්සිඳවා ගැනීමට නො සමත් නම් ඔබගේ නුවණින් ඇති ප්‍රයෝජනය කුමක්දැ”යි ඇසීය. එකල්හි බෝසතාණෝ -
“චත්තාරො මේ මහාරාජ, ලෝකේ අතිබලා භූසා,
රාගෝ දෝසෝ මදෝ මෝහෝ එත්ථ පඤ්ඤා න ගාධති”
යනුවෙන් “මහරජ, ලෝකයෙහි රාගය - ද්වේෂය - මදය - මෝහය යන මේ ධර්මයෝ සතර දෙන මහ බලැතියෝ ය. ඔවුන් නැඟී ආ කල්හි එතැන ප්‍රඥාව නො සිටින්නේ ය. ප්‍රඥාව පලා යන්නේ ය” යි කීහ.
එකල්හි රජතුමා “ඔබ රහත් ය, සිල්වත් ය, ශුද්ධ පුද්ගලයෙක, පණ්ඩිතයෙක කියා අප විසින් සම්මත කරන ලද්දෙකැ”යි කීය. එකල්හි තාපසයෝ “මහරජ, රාගනිඃශ්‍රිත වූ මේ පාපවිතර්කයෝ ධර්මගුණයෙහි ඇලී වෙසෙන නුවණැතියන්ට ද හිංසා කෙරෙති” යි කීය. රජතුමා මේ රාග නමැති කිලුට දුරු කර ගන්නා ලෙස බෝසතාණන්ට වැඩි දුරටත් අවවාද කෙළේ ය. එයින් තාපසයන්ට නැවත ද සිහිය ලැබී කාමයන් ගේ ආදීනව දැක රජුගෙන් අවසර ගෙන පන්සලට පිවිස කසිණමණ්ඩල ය දෙස බලා සිට මඳ වේලාවකින් පිරිහී ගිය ධ්‍යානාභිඥාවන් නැවත උපදවා ගෙන රජු ඉදිරියට පැමිණ අහසෙහි පර්‍ය්‍යංකයෙන් හිඳ රජුට ද දහම් දෙසා “මහරජ, මම අස්ථානයෙහි විසූ බැවින් මහජන මධ්‍යයෙහි ගර්හාවට පැමිණියෙමි ය, දැන් මම ස්ත්‍රී ගන්ධයෙන් තොර වනයට ම යෙමි”යි කියා රජු හඬා වැලපෙද්දී ම අහසින් හිමාලයට ගොස් එහි ම වාසය කොට මරණින් මතු බඹලොව උපන්හ.
මහබෝසතාණෝ අතින් ද සමහර අවස්ථාවල දී ප්‍රාණඝාත - අදත්තාදාන - කාමමිථ්‍යාචාර - සුරාපාන අකුශල කර්මයන් සිදු වී ඇත. බොරු කීමක් නම් නියත විවරණ ලැබීමෙන් පසු සිදු වී නැත. මේ කථාවෙන් පැවිද්දන්ට ආදර්ශයට ගත යුතු කරුණු කීපයක් ඇත්තේ ය. බෝසතාණන් වහන්සේ ගේ පරම සත්‍යවාදී භාවය, බරණැස් රජු කේලාම් නො පිළි ගැනීම, ඉක්මණින් නො කිපීම, වරදට පැමිණියහුට අනුකම්පා කිරීම, ස්ත්‍රීන් ඇසුරු කිරීමෙන් පැවිද්දන්ට විය හැකි නපුර යන මේවා මේ කථාවෙන් ආදර්ශයට ගත යුතු කරුණු ය.
සත්‍යයෙහි පිහිටා සිටින්නට ඉතා දුෂ්කර අවස්ථා ද පැමිණෙන්නේ ය. නො කියුව හොත් තමාට විපත් වන සත්‍යය කියුවහොත් අනිකකුට විපත් වන අවස්ථා ද පැමිණෙන්නේ ය. එබඳු අවස්ථාවල දී නුවණැත්තෝ බොරුත් නො කියා නුවණින් ක්‍රියා කොට තමාත් විපතින් මිදී අනුන් ද බේරා ගනිති. කිනම් කරුණක් නිසා වුව ද පැවිද්දකු විසින් බොරු කීම සුදුසු නැත. බොරුවෙන් ජීවත් වීමට වඩා ඉන් වැළකීමෙන් වන මරණය ම උතුම් බව කිය යුතු ය.
“ජීවිතං ච අධම්මේන
ධම්මේන මරණඤ්ච යං
මරණං ධම්මිකං සෙය්‍යෝ
යං චේ ජීවේ අධම්මිකං”
(ගෝදත්ත ථෙර ගාථා)
‘අධර්මයෙන් ජීවත්වීම ය, ධර්මයෙන් මිය යෑමය යන මේ දෙකින් ධාර්මික මරණය ම උතුම් බව’ මේ ගාථාවෙන් දැක්වේ.
අප්පිච්ඡතා සන්තුට්ඨිතා යන මේ ගුණ දෙක පැවිද්දන්ට ඉතා ම අවශ්‍ය ගුණ දෙකකි. මේ ගුණ දෙකින් තොර තැනැත්තාට පැවිදි සැපය නො ලැබේ. ඔහුට පැවිද්ද සිරගෙයක් මෙනි. ඔහුට මැනවින් පැවිද්ද පවත්වන්නට ද නො පිළිවන. මේ ගුණ දෙක ඇතියවුන් ට පැවිද්ද ඉතා සැප ය. ඒ නිසා ඔහුට ශීලාදි ගුණධර්ම මැනවින් පිරිය හැකි ය.
අප්පිච්ඡතා යනු නොයෙක් දෙයට ආශා නො කරන බව ය. සන්තුට්ඨිතා යනු යහපත් වූ හෝ අයහපත් වූ හෝ මද වූ හෝ තමාට ඇති දෙයින් සතුටු වන බව ය, මේ දෙක එකට බැඳී පවත්නා ගුණ දෙකකි. යමකුට අප්පිච්ඡතා ගුණය ඇත්තේ නම් ඔහුට සන්තුට්ඨිතා ගුණය ද ඇත්තේ ය. මේ ගුණ දෙක්හි පිහිටි පැවිද්දන් හට අත්‍රිච්ඡතා මහිච්ඡතා පාපිච්ඡතා යන දුර්ගුණ තුන ද ඇති නොවේ. ඒ දුර්ගුණ තුන ගැන ද පැවිද්දන් දැන සිටිය යුතු ය.
අත්‍රිච්ඡතා යනු ලැබුණු දෙයින් තෘප්තියට නො පැමිණ වඩා හොඳ දේවල් පතන, වඩා හොඳ දේ සොයන ස්වභාවය ය. එය ද ඒ ආකාරයෙන් පවත්නා ලාමක ලෝභයම ය. අත්‍රිච්ඡතාව ඇති පුද්ගලයා එක සැළියේ පිසූ බත වුව ද තමාගේ බඳුට බෙදූ බතට වඩා අනික් තැනැත්තා ගෙ බත හොඳය යි සිතා එය පතයි. පෙර එක් දායකයෙක් භික්ෂූණීන් තිස් නමකට ආරාධනා කොට කැවුම් සහිත බතක් දින. සංඝ ස්ථවිරී තෙම අන් සියලු භික්ෂූණීන් ගේ පාත්‍රවලට බෙදූ කැවුම් හා තමාගේ කැවුම් මාරු කොට අන්තිමේ දී තමා ගේ කැවුම ම කෑ බව ඛුද්දකවත්ථු විභංග අටුවාවෙහි දක්වා ඇත්තේ ය. ඒ අත්‍රිච්ඡතාව ඇතියවුන් ගේ ස්වභාවය යි. මේ අත්‍රිච්ඡතාව නිසා සමහරුන්ට, වනයෙහි සිය දේවිය හැර කිඳුරියක ලුහු බැඳ ගිය බරණැස් රජුට අන්තිමේදී දේවියත් කිඳුරියත් යන දෙදෙනා ම නැති වී තැවෙන්නට සිදු වූවාක් මෙන් තමා ලැබූ දෙය අනුන්ගේ දෙය යන දෙක ම නැති වීමෙන් තැවෙන්නට සිදුවන්නේ ය. අත්‍රිච්ඡතාව ඇති පැවිද්දෝ සබ්‍රහ්මචාරීන් ගේ හා ගිහි සැදැහැවතුන් ගේ ද පිළිකුලට භාජන වීමෙන් වඩාත් ලාභයෙන් පිරිහෙති.
කොතෙක් ලදත් සෑහීමකට පත් නො වී තව තවත් බලාපොරොත්තු වන, මහත් මහත් දේ බලාපොරොත්තු වන, කොපමණ ලදත් තව තවත් සොයන ස්වභාවය මහිච්ඡතා නම් වේ. තමා ගේ ගුණ අනුන්ට දක්වන ස්වභාවය හා පිළිගැනීමේ හා පරිභෝගයේ පමණ නො දන්නා බව මහිච්ඡතාව ඇතියහුගේ ලක්‍ෂණයෝ ය. බඩු පෙනෙන්නට තිබියදීත් අසවල් බඩුවත් තිබෙනවාය, අසවල් බඩුවත් තිබෙනවා ය, හොඳ බඩු තිබෙනවා ය, ලාබෙට දෙනවා ය කියා කෑ ගාන වෙළෙන්දා මෙන් මහේච්ඡ පුද්ගලයා “මම සිල්වතෙක, පිණ්ඩපාතිකයෙක, ආරණ්‍යකයෙක, යෝගාවචරයෙකැ”යි කියා පාන්නේ ය. එයින් පැහැදුණු අනුවණ මිනිසුන් ගෙනෙන ප්‍රත්‍යය ඇතය නො කියා කොපමණ ගෙනාවත් ඔහු සියල්ල පිළිගනී. කොපමණ දර දැමූවත් ගින්නට සෑහීමක් නැතුවාක් මෙන් කොපමණ ජලය ලැබුණත් සාගරයට සෑහීමක් නො වන්නාක් මෙන් මහිච්ඡතාව ඇති පුද්ගලයාට කොපමණ ප්‍රත්‍යය ලැබුණත් සෑහීමකට පත් වන්නේ නැත. එහෙයින් -
“අග්ගික්ඛන්ධො සමුද්දෝච මහිච්ඡෝචාපි පුග්ගලෝ,
බහුකේ පච්චයේ දෙන්තේ තයෝපේතේ න පූරයේ”
යනු කියන ලදි. මහේච්ඡ පුද්ගලයා ලොව අප්‍රියයෙකි. වැදූ මවට පවා හේ අප්‍රිය ය.
කැවුම්වලට කැමති තරුණ භික්ෂුවක් විය. වස් එළඹෙන දිනයේ ඔහුගේ මව “මාගේ පුත්‍රයා පිළිගැනීමෙහි පමණ දන්නේ නම් මේ තෙමස මුළුල්ලෙහි ම කැවුම්වලින් සංග්‍රහ කෙරෙමි” යි සිතා, භික්ෂුව විමසනු පිණිස ඔහුට එක් කැවුමක් දින. එය කෑ පසු තවත් කැවුමක් දින. භික්ෂු තෙමේ එය ද කෑවේ ය. මවු තොම තුන්වනුව ද කැවුමක් දින. භික්ෂුව එය ද කෑවේ ය. මව පුත්‍රයා ගේ පමණ නො දන්නා බව දැන “මාගේ පුතා තුන් මාසයේ ම කැවුම් අද ම කෑවේ ය” යි සිතා එතැන් පටන් එක කැවුම කුදු නුදුන්නා ය.
තිස්ස රජතුමා දිනපතා සෑගිරියෙහි භික්ෂූන්ට දන් දුන්නේ ය. “මහරජ, එක් තැනකට ම දෙන්නේ ඇයි? අනික් තැන් වලටත් දෙන්නට නො වටනේදැ” යි මහජනයා කියන ලදුව, දෙවන දිනයෙහි අනුරාධපුරයේ මහා දානයක් දෙවී ය. එක් භික්ෂුවකුදු පිළිගැනීමේ ප්‍රමාණය නො සැලකුවේ ය. එක එක භික්ෂුවක් විසින් දෙතුන් දෙනකු විසින් එසවිය යුතු තරමට ආහාර පිළිගන්නා ලද්දේ ය. රජ දෙවන දිනයෙහි සෑගිරියේ සඟනට ආරාධනා කරවා රජ ගෙදර පැමිණි සංඝයාගෙන් පාත්‍රය ඉල්ලී ය. “මහරජ, භික්ෂූන් තම තමන්ට සෑහෙන පමණට ආහාර පිළිගන්නවා ඇතය” කියා පාත්‍ර නුදුන්හ. පැමිණි සියලු භික්ෂූහු තම තමන් යැපෙන පමණට ආහාර පිළිගත්හ. රජු මහජනයා අමතා “බලන්න, ඊයේ පැමිණි නුඹලා ගේ භික්ෂූන් පිළිගැනීමේ පමණ නො දන්නා නිසා කිසිවක් ඉතිරි නො වීය. අද පිළිගත්තේ ටික ය. ඉතිරි ආහාර ම වැඩි ය” කියා සෑගිරියේ සංඝයා ගේ පමණ දැනීම ගැන ප්‍රසාදයත්, අනුරාධපුරයේ සංඝයගේ පමණ නො දැනීම ගැන අප්‍රසාදයත් ප්‍රකාශ කෙළේ ය.
අල්පේච්ඡ භික්ෂුවට නො පහන් ජනයෝ පහදිති. පැහැදුණාහු ව වඩා පහදිති. බොහෝ ලාභ ද උපදී. අල්පේච්ඡ භික්ෂුව නිසා බුදුසසුන බැබළේ. චිරස්ථායි ද වේ.
රුහුණෙහි කුලූම්බරිය නම් විහාරයෙහි එක් තරුණ භික්ෂුවක් දුර්භික්ෂ කාලයේ දී දිනපතා පිඬු පිණිස එක් ලම්බකර්ණයකු ගේ ගෙදරට යයි. ගෙහිමියෝ භික්ෂුවට වැළඳීමට දිනපතා බත් සැන්දක් දෙති. ගෙන යෑමට ද තවත් බත් සැන්දක් දෙති. එක් දිනක භික්ෂුව එහි ගිය කල්හි ඒ ගෙට අමුත්තෙක් පැමිණ සිටියේ ය. ඒ නිසා එදින භික්ෂුව එක බත් සැන්දක් පමණක් පිළිගත්තේ ය. ඒ කාරණයෙන් ගෙහිමියා ඒ භික්ෂුවට පැහැදී “අප නිවසට පැමිණෙන භික්ෂුව ගේ සැටි මෙසේ ය” යි රාජද්වාරයෙහි ඔහුගේ මිතුරන් ට ද කීය. සැම දෙන ම ඒ භික්ෂුව කෙරෙහි පැහැදී එදින ම ඒ භික්ෂුවට දිනපතා දෙන බත් සැටක් පිහිටවූහ. මෙසේ අල්පේච්ඡයා හට බොහෝ ලාභ උපදින්නේ ය. තවත් මෙවැනි කථා ගණනක් අපේ දහම් පොත්වල සඳහන් ව ඇත්තේ ය.
අත්‍රිච්ඡා මහිච්ඡා දෙකට ම වඩා ලාමක වූ ලෝභය පාපිච්ඡතා නම් වේ. නැති ගුණ ප්‍රකාශනය හා පමණ ඉක්මවා ප්‍රත්‍යය පිළිගැනීම පාපේච්ඡයා ගේ ලක්‍ෂණයෝ ය. පාපේච්ඡ පුද්ගල තෙමේ තමා කෙරෙහි මඳකුදු ශ්‍රද්ධාව නැති ව ශ්‍රද්ධාවතකු ගේ ආකාරය දක්වයි. ඔහු මිනිසුන් පන්සලට එන වෙලාව බලා, ඉදල ගෙන විහාර මලු දාගැබ් මලු බෝමලු අමදින්නට පටන් ගනී. මලසුන් සෝදන්නට පටන් ගනී. කසළ ඉවත් කරන්නට පටන් ගනී. මල් පුදන්නට පටන් ගනී, මහ හඬින් ගාථා කියා වඳින්නට පටන් ගනී. බලා ඉන්නා මිනිස්සු ශ්‍රද්ධාව බොහෝ ඇති හොඳ හාමුදුරු කෙනෙක් ය යි සිතා ඒ භික්ෂුවට සත්කාර කරන්නට කල්පනා කරති.
දුශ්ශීල ව සිට ගෙන ම ගිහියන් ඉදිරියේ ශීලය ගැන කථා කරයි. ගිහියන් ඉදිරියේ දී “ස්වාමීනි, මා අමදින කල්හි තණ කැඩී ගියේය. සක්මන් කිරීමේ දී කුඩා සතුන් පෑගී මළහ. අමතක වී තණ මත කෙළ ගැසුවෙමි. එයින් මට ඇවැත් සිදු වීදැ” යි විනයධරයන්ගෙන් විචාරයි. “ඇවැත්නි, ඒවායින් ඇවැත් සිදු වන්නේ නැතය” යි විනයධරයන් කී කල්හි “ස්වාමීනි, හොඳට විමසා කියන්න. ඕවා ගැනත් මගේ සිතට නම් සැක පහළ වන්නේ ය” යි කියයි. කථාව අසන ගිහියෝ සුළු දේ ගැනත් මෙතරම් දුරට සොයන මේ හාමුදුරුවෝ කොතරම් සිල්වත් කෙනෙකු විය යුතු දැයි සිතා ඒ භික්ෂුවට සත්කාර කරන්නට සිතති. ඇතැම් පාපිච්ඡයෝ කරන කිසි ම භාවනාවක් නැති ව මුළු රාත්‍රියේ ම නො නිදා භාවනා කරන ලෙස හඟවා මිනිසුන් පහදවති. මෙසේ නොයෙක් ආකාරයෙන් බොරු වෙන් ජනයා පහදවා ප්‍රත්‍යය සැපයීම පාපිච්ඡයන් ගේ සිරිත ය. අප්පිච්ඡතා සන්තුට්ඨිතා ගුණ දෙක්හි පිහිටි පැවිද්දන් හට මේ ලාමක ක්‍රියා නො කොට දිවි පැවැත්විය හැකි ය.
අප්පිච්ඡතා සන්තුට්ඨිතා ගුණ දෙකින් ද සන්තුට්ඨිතාව ප්‍රධාන බව කිය යුතු ය. බොහෝ දේ පැතීම සෙවීම කරන්නේ සන්තුෂ්ටිය නැති නිසා ය. ඇති පමණින් සතුටු වී ඉඳීම පුරුදු කර ගෙන ඇති නම් ඔහුට තවත් දේ පතන්නට සොයන්නට වුවමනාවක් නැත. ලද පමණින් සතුටු වන ස්වභාවයත් සියල්ල තිබීම වැනි ය. එබැවින් ඔහුට ජීවත් වීමේ අපහසුව නැත. ඒ සන්තුෂ්ටිය උතුම් ධනයෙකි. එ බැවින් තථාගතයන් වහනසේ “සන්තුට්ඨි පරමං ධනං” යනු වදාළ සේක.
අනුන්ගෙන් යමක් ගැනීම හොඳ වැඩක් නො ව පහත් වැඩකි. එය කරන පැවිද්දා විසින් අනුන්ට නො රිදෙන පරිදි පරෙස්සමෙන් කරන්නට උගත යුතු ය. එය කළ යුතු අන්දම තථාගතයන් වහන්සේ මෙසේ වදාරා තිබේ.
“යථාපි භමරෝ පුප්ඵං වණ්ණගන්ධං අහේඨයං,
පලේති රස මාදාය එවං ගාමේ මුනි චරේ.”
“යම් සේ බමරා මල්වලටත් ඒවායේ වර්ණයටත් සුගන්ධයටත් හානියක් නොවන ලෙස මල්වලින් රොන් ගෙන යන්නේ ද, එසේ ම පැවිද්දා විසින් කිසිවකුට හානියක් නො වන පරිදි ගමෙහි හැසිරිය යුතු ය.” යනු ගාථාවේ තේරුම ය.
පැවිද්දා විසින් මඳක් දෙනු කැමති පොහොසත් දායකයා ගෙන් ඔහු ගේ අදහස අනුව දෙන ස්වල්පය පිළිගත යුතු ය. “අප්පදානං න හීලෙය්‍ය දාතාරං නාවජානියා” යනුවෙන් වදාරා ඇති පරිදි මඳ වූ දීමනාවට ගර්හා නො කළ යුතු ය. දෙන තැනැත්තාට හෝ ගර්හා නො කළ යුතු ය. දුප්පත් දායකයා බොහෝ දෙනු කැමති වුවත් ඔහුගේ වත්කම අනුව ඔහුගෙන් ස්වල්පයක් ම පිළිගත යුතු ය. පොහොසත් දායකයා බොහෝ කොට දෙනු කැමති කල්හි තමාගේ පමණ බලා යැපෙන පමණට පිළිගත යුතු ය. මේ ගැනීම සම්බන්ධයෙන් පැවිද්දන් විසින් පිළිපැදිය යුතු ආකාරය.
ඉල්ලීම ඉතා ලාමක ක්‍රියාවකි. එය ජනයා ගේ අප්‍රසාදයටත් බලවත් හේතුවකි. මිනිසුන් ධනය සපයන්නේ ඉතා අමාරුවෙනි. බොහෝ දුක් විඳිමිනි. එය ඔවුන් කරන්නේ අනුන්ට දීමට නොව තම තමන්ගේ අමාරුකම නැති කර ගැනීම පිණිස ය. අමාරුවෙන් ධන සපයන මිනිසුන්ට පෙනෙන්නේ ඉල්ලන තැනැත්තා සතුරකු ලෙස ය. ඉල්ලන තැනැත්තා ඔවුන්ට ඉතා ම අප්‍රිය ය. එබැවින් පැවිද්දන් විසින් හැකි තාක් ඉල්ලීමෙන් වැළකිය යුතු ය. කැමැත්තෙන් අනුන් දෙන දෙයක් පමණක් පිළිගත යුතු ය.
පෙර අලව් නුවර භික්ෂූන් ලොකු ලොකු ආවාස සාදන්න පටන් ගෙන නිතර ගිහියන්ගෙන් නොයෙක් දේ ඉල්ලන්නට පටන් ගැනීමෙන් අලව් නුවර වැසියන්ට පැවිද්දන් එපා විය. ඔවුහු පැවිද්දන් එනු දුටු විට පලා යන්නටත් ඉවත බලන්නටත් දොර වසා දමන්නටත් පටන් ගත්හ. අධික ඉල්ලීම නිසා පැවිද්දකුට ඒ නුවරින් පිණ්ඩපාතය පවා ලබා ගැනීම අපහසු විය. ඒ කාලයේ දී මහකසුප් තෙරුන් වහන්සේ රජගහ නුවර වස් එළඹ සිට පවාරණය කර අලව් නුවර කරා වැඩම කළහ. උන්වහන්සේ අග්ගාලව චේතිය නම් විහාරයෙහි නැවතී පසුදින පිඬු පිණිස අලව් නුවරට වැඩම කළහ. අලව් නුවර වැසියෝ තෙරුන් වහන්සේ දැක බිය වූහ. ඇතැම්හු පලා ගියහ. ඇතැම්හු අහක බලා ගත්හ. ඇතැම්හු දොර වසා ගත්හ. මහකසුප් තෙරුන් වහන්සේ විහාරයට පෙරළා අවුත් භික්ෂූන් අමතා “ඇවැත්නි, පෙර මේ අලව් නුවර පහසුවෙන් පිණ්ඩපාතය ලැබෙන නගරයක. අද එසේ නො වේය. ඊට හේතුව කවරේදැ” යි විචාළහ. භික්ෂූහු උන් වහන්සේට කාරණය දැන්වූහ. මහකසුප් තෙරුන් වහන්සේ ඒ කාරණය බුදුන් වහන්සේට සැල කළහ. තථාගතයන් වහන්සේ අලව් නුවර භික්ෂූන් රැස් කරවා අනේකාකාරයෙන් ඉල්ලීමෙහි ආදීනවය දක්වමින් දහම් දෙසා කුටිකාර සිකපදය ද පනවා වදාළ සේක.
අලව් නුවර භික්ෂූන්ට තථාගතයන් වහන්සේ වදාළ එක් කරුණක් නම් මණිකණ්ඨ නාගරාජයාගේ කථාව ය.
ඒ මෙසේය:
පෙර සහෝදරයෝ දෙදෙනෙක් සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි ව ගංගාතීරයේ පන්සල් දෙකක් සාදා ගෙන විසූ හ. වැඩිමහලු තාපසතුමා ගේ පන්සල උඩු ගඟ ද බාල තාපසතුමාගේ පන්සල ගඟ පහළ ද විය. මණිකණ්ඨ නම් නාග රාජයා මිනිස් වෙසින් ගංතෙර ඇවිදින්නේ බාල තාපසයන්ගේ පන්සලට ගොස් කථා කරමින් සිටීමට පුරුදු විය. ක්‍රමයෙන් දෙදෙනාගේ මිත්‍රත්වය දියුණු විය. ඔවුනට ඔවුනොවුන් නො දැක නො විසි හැකි විය. මණිකණ්ඨ නිතර තාපසයා වෙත ගොස් කථා කරමින් සිට වැඩි ප්‍රේමය නිසා යන කල්හි මිනිස් වෙස හැර නාගවේශයෙන් තාපසයා වැළඳ ගනී. තාපසයාගේ ශරීරයෙහි නාගයා වෙළී පෙණය හිස මත තබා ගෙන මඳ වේලාවක් සිට නාගරාජයා යන්නේ ය. තාපසයාට එයින් මහත් බියක් හට ගනී. ඒ බිය නිසා තවුසාගේ ශරීරයත් දිරා යන්නට විය දිනක් බාල තවුසා වැඩිමහලු තාපසතුමා ගේ පන්සලට ගියේ ය තමාගේ සහෝදරයාගේ ශරීරය කෘශ වී සුදුමැලි වී නහර මතු වී තිබෙනු දුටු වැඩිමහලු තාපසතුමා එයට හේතු විචාළේ ය. හේ කෘශ වීමේ හේතු කීය.
එකල්හි වැඩිමහලු තාපසතුමා “නාගරාජයා ගේ පැමිණීම නවතිනවාට නුඹ කැමති දැ” යි ඇසී ය. බාල තවුසා “එසේය” යි කීය. නාගරාජයා නුඹ වෙත එන කල්හි “කිනම් ආභරණයක් පැළඳ එන්නේදැ”යි මහලු තවුස්තුමා විචාළේ ය. “මිණි රුවනක් පැළඳ එන්නේ” යයි බාල තවුසා කීය. එසේ නම් නාගරාජයා නුඹ වෙත පැමිණි කල්හි “වාඩිවන්නටත් කලින් මිණි රුවන ඉල්ලව, දෙවන දිනයෙහි පන්සල් දොරකඩ සිට දුර සිටියදී ම මිණි රුවන ඉල්ලව, තුන්වන දිනයේ නාගරාජයා ගඟින් මතු වත් ම මිණිරුවන ඉල්ලව, ඉන්පසු නාගරාජයාගේ ඒම නවතිනු ඇත” යි වැඩිමහලු තවුස්තුමා උපදෙස් දින. බාල තවුසා වැඩිමහලු තවුසාගේ උපදෙස් පරිදි පළමු දින නාරජු පන්සලට ඇතුළු වනු සමඟ ම “ඔය ගෙළ පැළඳි මිණිරුවන මට දී යන්න” යයි කීය. නා රජ කිසි කතාවක් නො කොට පලා ගියේ ය. දෙවන දින තවුසා දොරකඩ සිට නාරජු එන කල්හි “අදවත් මට මිණිරුවන දෙන්නය” යි කීය. නා රජ පන්සලට නොපිවිසම පලා ගියේ ය. තුන්වන දිනයෙහි නා රජු ගඟ දියෙන් මතු වත් ම “දැන් දෙදිනක් ඉල්ලලාත් මිණි රුවන නුදුන්නෙහි ය, අදවත් එය දෙන්න ය”යි කීය.
නා රජ ගඟදියෙහි ම හිඳ කියනුයේ “තවුසාණෙනි, මේ මාණික්‍ය රත්නය නිසා මට බොහෝ ආහාරපාන ලැබෙන්නේ ය. එය ඔබට නොදෙන්නෙමි. ඔබ පමණ ඉක්මවා ඉල්ලන්නෙහි ය. ඔබගේ පන්සලට ද මම නො එන්නෙමි. ඔබ කඩුවක් ගෙන තර්ජන කරන්නකු සේ මා බියට පත් කළෙහිය”යි කියා නාග භවනයට ම ගියේ ය. ඉන් පසු කිසි කලෙක නා රජ තවුසා වෙත නො ආයේ ය. ඉල්ලීමේ ඇති නපුරුකම මෙයින් සලකා ගන්න. බලවත් ප්‍රේමයෙන් සිටි නා රජුගේ ප්‍රේමය එක් දෙයක් ඉල්ලීමෙන් ම කෙළවර විය.
ප්‍රිය නාගරාජයා තමා හැර යෑමෙන් තවුසාට මහත් ශෝකයක් ඇති විය. එයින් තවුසාගේ සිරුර තවත් දිරන්නට විය. එය දැක වැඩිමහලු තාපසතුමා ඔහුට අවවාද කරනුයේ -
“න තං යාචේ යස්ස පියං ජිගිංසේ
දෙස්සෝ හෝති අතියාචනාය,
නාගෝ මණිං යාචිතෝ බ්‍රාහ්මණේන
අදස්සනං යේව තදජ්ඣගමා.”
යනුවෙන් යම් භාණ්ඩයක් යමකුට ප්‍රිය නම් ඒ භාණ්ඩය නො ඉල්ලිය යුතු ය. පමණ ඉක්මවා ඉල්ලීමෙන් ප්‍රිය පුද්ගලයා අප්‍රිය වන්නේ ය. බ්‍රාහ්මණයා විසින් මැණික ඉල්ලන ලද නාගයා ඉන්පසු අදර්ශනට ම ගියේ ය. මෙසේ කියා ශෝක නො කිරීමට වැඩි දුරටත් අවවාද කෙළේ ය.
අලව්නුවර භික්ෂූන්ට ම වදාළ තවත් කථාවක් මෙසේ ය. පෙර කම්පිල්ල රට උත්තරපඤ්චාල නගරයෙහි පඤ්චාල රජ රජය කරවන සමයෙහි බෝසත්තුමා එක් නියම් ගමක බමුණු පවුලක ඉපද වැඩිවිය පැමිණ පසු කාලයේ තවුස් පැවිද්දෙන් පැවිදි ව හිමාලය වනයෙහි කලක් අල කොළ පලවලින් ජීවත් වී ලුණු ඇඹුල් සේවනය පිණිස මිනිස් පියෙස්හි හැසිරෙන්නේ ක්‍රමයෙන් උත්තරපඤ්චාල නගරයට පැමිණ රජ උයනෙහි වැස දෙවන දිනයේ නගරයට පිවිසි පිඬු සිඟා යන්නේ රාජද්වාරයට පැමිණියේ ය. රජු මහබෝසත් තවුස්තුමා දැක පැහැදී රජගෙයි උඩුමහල් තලයෙහි වඩා හිඳුවා රාජභෝජනයන් වළඳවා තමාගේ උයනෙහි ම නවත්වා ගත්තේ ය. බෝසත්තුමා දිනපතා රජගෙදරින් ම වළඳමින් උයනෙහි වැස වර්ෂා කාලය ඉක්මුණු පසු නැවතත් හිමාලය වනයට ම යන්නට කල්පනා කළේ ය. ඒ ගමන යෑමට බෝසත් තුමාට පය ලන්නට වහන් සඟලක් හා හිස ලන්නට තල් පත් කුඩයක් ද වුවමනා විය. බෝසත්තුමාට ඒ පිරිකර දෙක රජුගෙනග් ලබා ගන්නට සිතිණ. එහෙත් අනුන්ගෙන් යමක් ඉල්ලීම උදාර අදහස් ඇති ආත්ම ගෞරවය ඇති පුද්ගලයන්ට ඉතා දුෂ්කර කරුණකි. හිමාලයට යෑම බෝසත් තුමාට ඇති බලවත් වුවමනාවෙකි. එබැවින් ගමනට වුවමනා පිරිකර දෙක රජුගෙන් ඉල්ලන්ට සිතා බෝසත්තුමා නැවතත් සිතනුයේ ‘මෙනම් දෙයක් මට දෙව’ යි කියා අනුන්ගෙන් යමක් ඉල්ලීම නම් හැඬීමෙක, ඉල්ලන්නහුට ඒ දෙය නොදීමත් හැඬීමෙක. අප දෙදෙනාගේ හැඬීම පඤ්චාල වැසියන්ට නො පෙනෙන ලෙස රහසිගත ව කර ගත යුතු ය. මෙසේ සිතා රජු පැමිණි කල්හි “මහරජ, රහසක් කථා කර ගන්නට ඇතය” යි කීය. එකල්හි රජ රාජ පුරුෂයන් ඉවත් කෙළේ ය. ඉක්බිති බෝසත්තුමා “ඉදින් මා ඉල්ලූ කල්හි රජු එය නුදුන්නේ නම්, අප අතර ඇති මෛත්‍රිය බිඳෙන්නේ ය, එබැවින් නො ඉල්ලමි” යි සිතා ගත්තේ ය. එදින බෝසත්තුමාට කාරණය රජුට නො කිය හැකි විය. “මහරජ, අද යන්න, නැවත දිනයක මෙය ගැන බලමි” යි කියා රජු පිටත් කෙළේ ය. නැවත රජු උයනට පැමිණි දිනවල දී ද කාරණය කියන්නට උත්සාහ කළ මුත් බෝසත්තුමාට එය කියා ගත නො හැකි විය. මෙසේ දොළොස් වසරක් ඉක්ම ගියේ ය.
දොළොස්වසක් ඉක්ම ගිය පසු රජු සිතනුයේ “මාගේ ආර්‍ය්‍යයන් වහන්සේ රහසක් කියන්නටය යි ජනයා ඉවත් කරවා කාරණය කියා ගත නො හැකි ව දොළොස් වසක් ඉක්ම ඇත්තේ ය. බොහෝ කල් තපස් කිරීමෙන් කලකිරී දැන් උන්වහන්සේ සමහර විට කම් සැප විඳිනු පිණිස රජය පතනවා විය හැකි ය. මම රාජ්‍යය ඇතුළු උන්වහන්සේ බලාපොරොත්තු වන යමක් ඇති නම් අද ඒ දෙය දෙමිය”යි සිතා, උයනට ගියේ ය. එදින ද බෝසත්තුමා පිරිස ඉවත් කරවා කිසිවක් කියා ගත නො හැකිව සිටියේ ය. එකල්හි රජු “ස්වාමීනි, ඔබවහන්සේගේ රහස කියා ගත නොහැකි ව දැනට දොළොස් වසක් ඉක්ම ඇත්තේ ය. අද නො සඟවා කාරණය කියනු මැනව. ඔබ වහන්සේට මම රාජ්‍යය වුව ද දෙමි. ඔබ වහන්සේ බලාපොරොත්තු වන කුමක් හෝ ඇති නම් එය ඉල්ලනු මැනව” යි කීය. එකල්හි බෝසත්තුමා “මා ඉල්ලන දෙය දෙන්නෙහිදැ” යි අසා රජු “දෙමි” යි කී කල්හි “මහරජ, මට ගමනක් යන්නට වහන්සඟලක් හා තල්පත් කුඩයක් ද වුවමනා වී ඇතය” යි කීය. එකල්හි රජතුමා “ස්වාමීනි, නුඹ වහන්සේට දොළොස් අවුරුද්දක් ඉල්ලිය නො හැකිව තුබුණේ ඔබ වු දෙක ම දැ” යි කීය. බෝසත් තුමා “එසේය, මහරජ”ය යි කීය. “ස්වාමීනි මේ සුළු කරුණට මෙසේ කළේ කුමක් නිසාදැ” යි රජ ඇසී ය. මහබෝසතාණෝ මෙසේ පැවසූහ.
“ද්වයං යාචනකෝ රාජ, බ්‍රහ්මදත්ත, නිගච්ඡති,
අලාභං ධනලාභං වා එවං ධම්මා හි යාචනා,
-
යාචනං රෝදනං ආහු පඤ්චාලානං රථෙසභ.
යෝ යාචනං පච්චක්ඛාති තමාහු පටිරෝදනං.
-
මාද්දසංසු රෝදන්තං පඤ්චාලා සුසමාගතා,
ත්වං වා පටිරෝදන්තං තස්මා ඉච්ඡාමහං රහෝ”
බ්‍රහ්මදත්ත රජතුමනි, ඉල්ලන්නහුට ලැබීමය නො ලැබීමය යන දෙකින් එකක් වන්නේය. ඒ ඉල්ලීමේ ස්වභාවය ය. පඤ්චාල රජතුමනි, ඉල්ලීම හැඬීමකැයි නුවණැත්තෝ කියන්නාහ. ඉල්ලන්හුට ඒ දෙය නොදීමත් හැඬීමකැයි කියන්නාහ. ඉල්ලා හඬන්නා වූ මා ද නොදී හඬන්නා වූ තොප ද පඤ්චාල රට වැසියෝ නො දකිත්වා යි මම ඉල්ලීමට රහස් තැනක් කැමති වීමි.”
බෝසතාණන් ගේ කීම අසා රජු පැහැදී කිරි දෙනුන් දහසක් ද දින. බෝසතාණෝ ඒවා ප්‍රතික්ෂේප කොට වහන්සඟළ හා කුඩය පිළිගෙන රජතුමාට ද දහම් දෙසා හිමවතට ගියහ.
“යාචනාහි නාමේසා කාමභෝගීනං ගිහීනං ආචිණ්ණා. න පබ්බජිතානං. පබ්බජිතේන පන පබ්බජිත කාලතෝ පට්ඨාය ගිහීහි අසමාන පරිසුද්ධාජීවේන භවිතබ්බං” යනුවෙන් මේ ඉල්ලීම කාමභෝගී ගිහියන් ගේ පුරුද්දක් මිස, පැවිද්දන් විසින් නො කළ යුත්තකැයි අට්ඨිසේන ජාතකට්ඨ කථාවෙහි දක්වා ඇත්තේ ය. පැවිද්දන්ගේ ඉල්ලීම අට්ඨිසේන ජාතක පාළියේ මෙසේ දැක්වේ.
“න වේ යාචන්ති සප්පඤ්ඤා ධීරෝ වේදිතු මරහති,
උද්දිස්ස අරියා තිට්ඨනත් ඒසා අරියාන යාචනා.”
තේරුම:
“ප්‍රාඥයෝ නො ඉල්ලන්නාහ. ආර්‍ය්‍යයෝ උදෙසා සිටින්නාහ. නුවණැතියන් විසින් එය දැන ගන්නට වටනේ ය. ඒ උදෙසා සිටීම ආර්‍ය්‍යයන්ගේ ඉල්ලීම ය” යනුයි.
මෙකල පැවිද්දෝ ඉවර කළ නො හෙන විශාල කර්මාන්ත පටන් ගෙන එන එන මිනිසාගෙන් සම්මාදන් ඉල්ලති. සම්මාදන් කරවති. ඒ කරදරය නිසා ඇතැම් ගිහියෝ පන්සල්වලට නො යති. ඇතැම් ගිහියේ ඔවුන් ගේ නිවෙස්වලට පැවිද්දන් පැමිණෙන විට සැඟවෙති. ඉල්ලීම නිසා බොහෝ ගිහියෝ පැවිද්දන් කෙරෙහි කලකිරී සිටිති. ඔවුහු පැවිද්දන් රටට වුවමනා නැති කරදරකාරී පිරිසක් ලෙස සිතා වර්ජනය කෙරෙති. මේ ගැන පැවිද්දෝ කල්පනා කෙරෙත්වා!!
“බහුකාරා භික්ඛවේ බ්‍රාහ්මණගහපතිකා තුම්හාකං
යේ වෝ පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසේනාසන
ගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරේහි. තුම්හේපි,
භික්ඛවෙ, බහුකාරා බ්‍රාහ්මණගහපතිකානං, යේසං
වෝ ධම්මං දේසේථ ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං
පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවල
පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ. එවමිදං
භික්ඛවෙ, අඤ්ඤමඤ්ඤං නිස්සාය බ්‍රහ්මචරියං වුස්සති
ඔඝස්ස නිත්ථරණාය සම්මා දුක්ඛස්ස අන්තකිරියායාති.
ඒතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති.
-
1. සාගාරා අනගාරා ච උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා
ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං
-
2. සාගාරේසු ච චීවරං පච්චයං සයනාසනං,
අනගාරා පටිච්ඡන්ති පරිස්සය විනෝදනං
-
3. සුගතං පන නිස්සාය ගහට්ඨා ඝරමේසිනෝ
සද්දහානා අරහතං අරියපඤ්ඤාය ඣායිනෝ
-
4. ඉධ ධම්මං චරිත්වාන මග්ගං සුගතිගාමිනං
නන්දිනෝ දේවලෝකස්මිං මෝදන්ති කාමකාමිනෝ
(බහුකාරසුත්ත ඉතිවුත්තක)
මේ සූත්‍රයේ තේරුම මෙසේ ය:
“මහණෙනි, තොපට යම් බ්‍රාහ්මණ ගෘහපතීහු චීවර පිණ්ඩපාත සේනාසන ග්ලානප්‍රත්‍යයන් ගෙන් උපස්ථාන කරන්නාහු වෙත් ද ඔවුහු තොපට බොහෝ උපකාර වන්නෝ ය. මහණෙනි, තෙපි යම් බ්‍රාහ්මණ ගෘහපතීන්ට දහම් දෙසත් ද මුල යහපත් වූ මැද යහපත් වූ අවසානය යහපත් වූ ප්‍රයෝජනවත් වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සර්වාකාරයෙන් සම්පූර්ණ වූ පිරිසිදු වූ ශ්‍රේෂ්ඨ චර්‍ය්‍යාව ප්‍රකාශ කරන්නාහු ය. මහණෙනි, මෙසේ ඔවුනොවුන් නිසා චතුරෝඝයෙන් එතර වනු පිණිස දුක් කෙළවර කරනු පිණිස ශීලපූරණාදි මේ ශාසන ප්‍රතිපත්තිය පුරන්නාහ.
මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ සූත්‍රයෙහි ඒ අර්ථය ගාථාවලින් මෙසේ නැවත ද කියනු ලැබේ.
(1) ගිහියෝ ද පැවිද්දෝ ද යන දෙ පක්‍ෂය ඔවුනොවුන් නිසා ප්‍රතිපත්ති ප්‍රතිවේධ දෙක සම්පාදනය කෙරෙති. අර්හත්වය හා නිවන සම්පාදනය කෙරෙති.
(2) ගිහියන්ගෙන් පැවිද්දෝ සිවුරු ද ආහාර ද බෙහෙත් ද, පීඩා දුරු කරන්නා වූ විහාරාදි සෙනසුන් ද ලබන්නාහ.
(3-4) ගිහිගෙයි වෙසෙමින් ධනය හා ශීලාදි ගුණ ධර්ම සොයන්නා වූ ගිහියෝ වනාහි මනා කොට පිළිපදින්නා වූ ප්‍රව්‍රජිත ශ්‍රාවකයන් නිසා ආර්‍ය්‍යයන් ගේ වචන විශ්වාස කරන්නාහු සුපරිශුඬ ප්‍රඥාවෙන් ධ්‍යාන කරන්නාහු මේ ලෝකයෙහිදී සුගතියට යන්නවුන්ට මාර්ගය වන ශීලාදි ගුණ ධර්ම සපුරා මරණින් මතු දෙව්ලොව ඉපද කැමති සම්පත් ලබා සතුටු වන්නාහ. මේ ඉහත දැක්වූ සූත්‍රයෙහි තේරුම ය.
මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ චීවරාදි ප්‍රත්‍යය දෙන ගිහියන් පැවිද්දන්ට උපකාරකයන් බවත්. ධර්මානුශාසනා කරන පැවිද්දන් ගිහියන්ට උපකාරකයන් බවත් ය. මේ දෙපක්‍ෂය තම තමන්ට අයත් පිළිවෙත් පුරා දුකින් මිදෙන්නේ අන්‍යොන්‍ය සම්බන්ධයෙනි. එබැවින් ගිහියන්ගේ සම්බන්ධය පැවිද්දන්ටත් පැවිද්දන් ගේ සම්බන්ධය ගිහියන්ටත් වුවමනා ය. ගිහියන්ගේ උපකාර නො ලැබී ගියහොත් පැවිද්දන් හට මේ ශාසනික ප්‍රතිපත්තිය පැවැත්වීම දුෂ්කර වීමෙන් ක්‍රමයෙන් පැවිද්දෝ නැති වන්නාහ. එසේ වුවහොත් බුදුසසුන කෙළවර වන්නේ ය. සර්වඥ ශාසනයා ගේ චිරස්ථිතිය පිණිස පැවිද්දන් විසින් ගිහියන් ගේ ප්‍රසාදය රැකෙන ලෙස ක්‍රියා කළ යුතු ය.
ගිහියන් හා සම්බන්ධය නො පවත්වා පැවිද්දන්ට ජීවත්වීම දුෂ්කර ය, බුදුසස්න පැවැත්වීම දුෂ්කරය කියා, පැවිද්දන් විසින් ගිහියන් සතුටු කොට ඔවුන්ගෙන් ප්‍රත්‍යය ලැබීමේ ආශාවෙන් පමණ ඉක්මවා ඔවුන් හා ගැටී, ඇලී සතුටු විය යුත්තෙහි ඔවුන් හා සතුටු වෙමින්, දුක් විය යුත්තෙහි ඔවුන් හා දුක් වෙමින්, ශෝක කරමින්, ඔවුන් ගේ ගිහි කටයුතුවලට සහාය වෙමින්, ගිහියන් හා නො මනා පරිදි සම්බන්ධකම් නො පැවැත්විය යුතු ය. එසේ සබඳකම් පැවැත්වීමෙන් වන්නේ ගිහි පැවිදි දෙපක්‍ෂයටම හානියකි. එසේ සම්බන්ධකම් පවත්වන පැවිද්දන්ට ගිහියන් සංග්‍රහ කරන්නේ ඒ පැවිද්දන් ගේ ශීලාදී ගුණ සලකා ගෙන නොව මිත්‍රකම හෝ උපකාර සලකා ගෙන ය. එයින් ගිහියෝ පිනෙන් පිරිහෙති. පින් ලැබීමට දිය යුත්තේ ශීලාදී ගුණ සලකා ගෙන ය. පමණ ඉක්මවා ගිහි සම්බන්ධය පවත්වන පැවිද්දා ක්‍රමයෙන් ශ්‍රමණ ප්‍රතිපත්තියෙන් පිරිහේ. සමහර විට සම්පූර්ණයෙන් ම ශ්‍රමණ භාවයෙන් පිරිහේ. ඒ නිසා පමණ ඉක්මවා පවත්වන ගිහි සම්බන්ධය පැවිද්දන්ට වඩාත් අන්තරායකරය. ගිහියන් හා සම්බන්ධය පැවැත්විය යුතු ආකාරය දැක්වීම් වශයෙන් තථාගතයන් වහන්සේ චන්ද්‍රෝපම ප්‍රතිපදාව වදාළ සේක.
ඒ මෙසේ ය:
“චන්දූපමා භික්ඛවේ, කුලානි උපසංකමථ, අපකස්සේව කායං, අපකස්සේව චිත්තං, නිච්චනවකා කුලේසු අප්පගබ්භා, සෙය්‍යථාපි භික්ඛවේ, ජරූදපානං වා ඕලොකෙය්‍ය පබ්බතවිසමං වා නදී විදුග්ගං වා අපකස්සෙව කායං අපකස්සේව චිත්තං, ඒවමේව ඛෝ භික්ඛවේ, චන්දූපමා කුලානි උපසංකමථ අපකස්සේව කායං අපකස්සේව චිත්තං කුලේසු අප්පගබ්භා.”
(කස්සප සංයුක්ත)
තේරුම:
“මහණෙනි ගිහියන්ගෙන් කයත් ඉවත් කර ගෙන සිතත් ඉවත් කරගෙන හැම කල්හි ආගන්තුක ව චන්ද්‍රයා මෙන් ගිහියන් කරා එළඹෙව්. ගිහි ගෙවල ප්‍රගල්භයෝ (ඇතුළත්කම් ඇත්තෝ) නො වව්. මහණෙනි, පාලු ළිඳකට හෝ පර්වතප්‍රපාතයකට හෝ ගැඹුරු ගං ඉවුරකට හෝ නැඹුරු වී බලන්නේ එයට ඇද නො වැටෙනු පිණිස කයත් සිතත් ඉන් ඉවත් කර ගෙන පස්සට බර කර ගෙන යම් සේ බලන්නේ ද, මහණෙනි, එසේ කයත් සිතත් ඉවත් කර ගෙන පස්සට ගෙන චන්ද්‍රයා මෙන් ගිහියන් කරා එළඹෙව්.”
මේ සූත්‍රයේ අදහස මෙසේ ය. දිනෙන් දින ම වෙනස් වන බැවින් චන්ද්‍රයා සැම කල්හි ම ලෝකයට අලුත් ය. දිනපතා අලුත් වෙමින් අහස්හි හැසිරෙන චන්ද්‍රයාගේ කිසිවකු හා අමුතු මිතුරු කමක් අමුතු ඇල්මක් නැත්තේ ය. චන්ද්‍රයා හැමට ම සාධාරණ ය. පැවිද්දා ද චන්ද්‍රයා සේ කිසි ගිහියකු හා අමුතු මිතුරුකමක් අමුතු ඇල්මක් නැතිව ගිහිගෙවලදී ද විහාරයෙහිදී ද වර්ෂ ගණනක් ඇසුරු කළ ගිහියන් සමඟ වුව ද ආගන්තුකයකු සේ හැසිරිය යුතු ය. ගිහියන් ගේ ගිහි වැඩවලට අත ගසන ඒවා සංවිධානය කරන කෙරුම්කාරයකු නො විය යුතු ය. මොහු මාගේ දායකයෙක, මට මේ මේ උපකාර කළ තැනැත්තෙක. මට මේ මේ දේ දුන්නෙක කියා, කිසිම ගිහියකුට ඇලුම් නො කළ යුතු ය. ගැඹුරු ළිඳකින් පැන් ගන්නා තමාගේ කය-සිත ළිඳට බර නො කර නිතර ම පස්සට ඇදගෙන ළිඳේ නො වැටී පැන් ගන්නාක් මෙන් පැවිද්දන් විසින් ගිහියන් හා නො ඇලෙන පරිදි සිත කය දෙක ම පස්සට බර කර ගෙන පස්සට ඇදගෙන ගිහියන් අතර හැසිරිය යුතු ය. ගිහියන් ගේ ප්‍රත්‍යය පිළිගත යුතු ය. පැවිද්දා ගේ එසේ හැසිරීම බුද්ධාදි ආර්‍ය්‍යයන් වර්ණනා කරන චන්ද්‍රෝපම ප්‍රතිපදාව ය.
පැවිද්දන් විසින් සැලකිය යුතු තවත් කරුණක් මෙසේ ය: ඇතැම් පැවිද්දෝ ‘ගිහියන් අපට සලකන්නට ඕනෑමය’ යි සිතති. ඒ මෝඩ අදහස නිසා ඔවුහු ගිහියන් ගෙන් ලැබීම මඳ වූ කල්හි තමන් ගේ සිත රිදවා ගනිති. කිපෙති. ගිහියන්ට දොස් කියති. නින්දා කරති. සමහරු සලකන අය නැත කියා සිවුරු හැර යති. පැවිදි පිරිසට සැලකීමට ගිහියන් පොරොන්දු වී නැත. බැඳී නැත. මේ පැවිදි පිරිස ගිහියන් විසින් සැලකීමේ පොරොන්දුවක් වී පැවිදි කරවන ලද්දාහු නො වෙති. හැම දෙනා ම තම තමන්ට ම වුවමනා නිසා තමන්ගේ කැමැත්තෙන් ම පැවිදි වූවෝ ය. එ බැවින් තමතමන් ගේ ජීවත් වීම තම තමන් විසින් ම බලා ගත යුතු ය. නො සලකනවාය කියා ගිහියන්ට දොස් කියනවා නම්, කිපෙනවා නම් එය අනුවණ කමෙකි. ගිහියන්ගෙන් යමක් ලදහොත් එපමණකින් සතුටු වීම පැවිද්දා ගේ යුතුකම ය. බුදු රජාණන් වහන්සේ විසින් ද මෙසේ වදාරා ඇත්තේ ය.
“යෝ හි කෝචී භික්ඛවෙ භික්ඛු එවං චිත්තෝ, කුලානි උපසංකමති, දෙන්තු යේව මේ මා අදංසු බහුකඤ්ඤේව මේ දෙන්තු මා ථෝකං, පණීතඤ්ඤේව මේ දෙන්තු මා ලූඛං, සීඝඤ්ඤේව මේ දෙන්තු මා දන්ධං, සක්කච්චඤ්ඤේව මේ දෙන්තු මා අසක්කච්චන්ති. තස්ස චේ භික්ඛවේ, භික්ඛුනෝ එවං චිත්තස්ස කුලානි උපසංකමතෝ න දෙන්ති තේන භික්ඛු සන්දීයති. සෝ තතෝ නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදියති. ථෝකං දෙන්ති නෝ බහුකං, තේන භික්ඛු සන්දීයති. සෝ තතෝ නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදියති. ලූඛං දෙන්ති නෝ පණීතං, තේන භික්ඛු සන්දීයති. සෝ තතෝ නිදානං දුක්ඛං දොමනස්සං පටිසංවේදියති. දන්ධං දෙන්ති නෝ සීඝං, තේන භික්ඛු සන්දීයති. සෝ තතො නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදියති. අසක්කච්චං දෙන්ති නෝ සක්කච්චං, තේන භික්ඛු සන්දීයති. සෝ තතෝ නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදියති. ඒවරූපෝ ඛෝ භික්ඛවේ, භික්ඛු නාරහති කුලූපගෝ හෝතුං.”
(කස්සප සංයුත්ත)
“මේ දේශනාවෙන් දැක්වෙන්නේ යම් භික්ෂුවක් ගිහියන් මට දෙන්නට ම ඕනෑය, ටිකක් නොව, හුඟක් ම දෙන්න ඕනෑ ය, අමිහිරි දෙයක් නොව ප්‍රණීත දෙයක් ම දෙන්න ඕනෑ ය, පමා නො කොට ඉක්මනින් ම දෙන්න ඕනෑ ය. නො සැලකිල්ලෙන් නොව සැලකිල්ලෙන් ම දෙන්න ඕනෑය යන අදහසින් ගිහියන් කරා යන්නේ නම්, ඔහුට ගිහියෝ නුදුන්නාහු නම් ස්වල්පයක් දුන්නාහු නම්, අමිහිරි දෙයක් ම දුන්නාහු නම්, කල් යවා දුන්නාහු නම්, නො සැලකිල්ලෙන් දුන්නාහු නම් ඒ පැවිද්දා ගේ සිත රිදෙන්නේ ය. එය හේතු කොට ඔහුට දුකක් දොම්නසක් ඇති වන්නේ ය. එබඳු භික්ෂුව ගිහියන් කරා යෑමට සුදුසු නැත යනුයි.” ගිහියන් කරා යෑමට සුදුසු නැත යන්නෙහි තේරුම පැවිද්දට නුසුදුසු බව ය.
මේ මිනිසුන් විසින් අපට දෙන්නට ම ඕනෑය සලකන්නට ඕනෑය කියා නියමයක් නැත, දෙනු කැමැත්තෝ දෙත්වා; නො දෙනු කැමැත්තෝ නෙ දෙත්වා; සලකනු කැමැත්තෝ සලකත්වා; නො කැමැත්තෝ නො සලකත්වා යන අදහසින් කුලයන් කරා එළඹෙන භික්ෂුව ම කුලයන් කරා එළඹීමට පැවිද්දට සුදුසු බව ද, ඒ සූත්‍රයෙහි ම තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබේ. මේ කරුණු අනුව ගිහියන් අපට දෙන්නට ඕනෑය සලකන්නට ම ඕනෑය යන වැරදි අදහස දුරු කර ගත යුතු ය. මේ මහණ කම ගිහියන්ට ඕනෑවට කරන්නක් නො වන බවද සැලකිය යුතු ය. ගිහියන් නො සලකනවාය කියා මහණකම දූෂණය කර ගන්නවා නම් එය ඉතා අනුවණකමක් බව ද දත යුතු ය.
ඇතැම් පැවිද්දෝ “මේ මිනිස්සු අපේ දායකයෝ ය, මොවුන් විසින් දිය යුත්තේ අපේ පන්සලටම ය. අපට ම ය කියා, තමන් ගේ සිතින් ගිහියන් අයිති කර ගෙන සිටිති. එහෙත් ඒ ගිහියන්ට එබඳු අදහසක් නැත. එසේ තිබියදී පැවිද්දා විසින් තමාගේ සිතින් මොවුහු අපට ම දිය යුත්තේ ය කියා ගිහියන් අයිති කර ගෙන සිටීම සිනාවට කරුණෙකි. කා කෙරෙහිවත් බැඳීමක් නැති කිසි පැවිද්දකුට අයිති නැති ඒ ගිහියෝ ඔවුන් කැමති තැනකට දන් දෙති. එකල්හි අර පැවිද්දා ගමේ පන්සල තිබියදී අප සිටියදී මේ මිනිස්සු අප ගැන නො සලකා අන් තැන් වලට දන් දෙති යි ඒ මිනිස්සු කෙරෙහි කිපෙති. දානය පිළිගත් භික්ෂූන්ට කිපෙති. බණිති. එසේ කොට ඒ පැවිද්දෝ තමන් ගේ පහත් අදහස් ඇති බව ලොවට හෙළි කරති. අනුන්ට ද්වේෂ කොට පව් රැස් කර ගනිති. මෙය පැවිද්දන්ට ඉතා අයෝග්‍ය දෙයකි. දන් දීමේ නිදහස සෑම ගිහියකුට ම තිබේ. බුදුන් වහන්සේ වදාරා ඇත්තේ ද “යත්ථ පසීදති තත්ථ දාතබ්බං” යම් තැනකට පැහැදීම ඇත්තේ නම් එතැනට දිය යුතුය කියා ය. තමන්ට පැහැදී පින් කැමැත්තෙන් කවරකු හෝ දෙනවා නම් එය පිළිගැනීමටත් සියලු ම භික්ෂූන්ට නිදහස තිබේ. ඒ නිසා මොවුහු මාගේය මට ම දිය යුත්තෝ ය කියා මිනිසුන් අයිති කර ගැනීම පැවිද්දන් විසින් නො කළ යුත්තකි. යමකු කාහට වුව ද කොතැනකට වුව ද දෙනවා නම් පැවිද්දා එයට කැමති විය යුතු ය.
“යස්ස කස්සචි භික්ඛුනෝ කුලානි උපසංකමතෝ කුලේසු චිත්තං න සජ්ජති න ගය්හති න බජ්ඣති “ලභන්තු ලාභකාමා පුඤ්ඤකාමා කරොන්තු පන පුඤ්ඤානී” ති යථා සකෙන ලාභෙන අත්තමනො හොති සුමනො, එවං පරේසං ලාභේන අත්තමනෝ හොති සුමනො. එවරූපො ඛෝ භික්ඛ වෙ, භික්ඛු අරහති කුලානි උපසංකමිතුං”
(කස්සප සංයුත්ත)
ගිහියන් කරා එළඹෙන ගිහියන් ඇසුරු කරන යම් භික්ෂුවක් ගිහියන් හා නො ඇලේ නම් නොබැඳේ නම් “ලාභ කැමැත්තෝ ලබත්වා. පින් කැමැත්තෝ පින් කෙරෙත්වා” යි තමාට ලැබීම ගැන සතුටු වන්නාක් මෙන් අනුන් ලබනවාට ද සතුටු වන්නේ නම් එබඳු භික්ෂූන් ගිහියන් වෙත එළඹීමට ඔවුන් ඇසුරු කිරීමට සුදුසු ය” යනු ඒ දේශනාවේ අදහස ය.
භික්ෂූන් ගිහියන් හා තණ්හාවෙන් නො බැඳිය යුතු වුව ද තමන්ට චීවරාදි ප්‍රත්‍යයෙන් උපස්ථාන කරන ගිහියන් ගේ ගුණය අමතක නො කළ යුතු ය. කෙළෙහි ගුණ සැලකීම උසස් ගුණයෙකි. පැවිද්දන් ඒ ගුණයෙහි පිහිටිය යුතු ය. උපස්ථායකයන්ට කෙළෙහි ගුණ සැලකීමට ය කියා ගිහියා ගේ ශ්‍රද්ධාව නැති වී යෑමට හේතු වන, තමන් සතු දෑ ඔවුන්ට දීම් ඔවුන්ගේ පණිවිඩ ගෙන යෑම් වෙදකම් කිරීම් ආදිය නො කළ යුතු ය. ධර්මදේශනාදි පැවිද්දන්ට සුදුසු දේ පමණක් ගුණ සැලකීම් වශයෙන් ගිහියන්ට කළ යුතු ය. ගිහියන්ට ප්‍රත්‍යුපකාර කළ යුතු සැටි තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේ ය.
“ගිහීනමුපකරොන්තානං නිච්චමාමිසදානතෝ,
කරෝථ ධම්මදානේන තේසං පච්චුපකාරකං”
(බුද්ධවංස අට්ඨකථා)
“නිරන්තරයෙන් ආමිෂදානයෙන් තොපට උපකාර කරන්නා වූ ගිහියන්ට තෙපි ධර්මදානයෙන් ප්‍රත්‍යුපකාර කරව්” ය යනු එහි තේරුම ය.
“දේසේථ භික්ඛවේ, ධම්මං ආදිකල්‍යණං මජ්ඣෙකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සව්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා අස්සවනතා ධම්මස්ස පරිහායන්ති.”
(මහාවග්ග මහාඛන්ධක)
යනුවෙන් “මහණෙනි, මුල යහපත් වූ මැද යහපත් වූ අවසානය යහපත් වූ ප්‍රයෝජනවත් වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සර්වාකාරයෙන් පරිපූර්ණ වූ පිරිසිදු වූ ධර්මය දේශනය කරව්, ශ්‍රෙෂ්ඨචර්‍ය්‍යාව ප්‍රකාශ කරව්. නුවණැසෙහි කෙලෙස් රජස් මඳ සත්ත්වයෝ ඇත්තාහ. ඔවුහු දහම් අසන්නට නො ලැබීමෙන් පිරිහෙන්නාහ” යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් තමන්ට උපස්ථාන කරන නො කරන සැමට ම දහම් දෙසීම පැවිද්දන් ගේ යුතු කමෙකි.
“න ඛෝ ආනන්ද, සුකරං පරේසං ධම්මං දේසේතුං, පරේසං ආනන්ද, ධම්මං දේසෙන්තේන පඤ්ච ධම්මේ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරේසං ධම්මෝ දේසේතබ්බෝ. කතමේ පඤ්ච?
ආනුපුබ්බිකථං කථෙස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බෝ. පරියාය දස්සාවි කථං කථෙස්සාමී ති පරේසං ධම්මෝ දේසේතබ්බෝ, අනුද්දයතං පටිච්ච කථං කථෙස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බෝ. න ආමිසන්තරෝ කථං කථෙස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බෝ. අත්තානඤ්ච පරඤ්ච අනුපහච්ච කථං කථෙස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බෝ. න ඛෝ ආනන්ද, සුකරං පරේසං ධම්මං දේසේතුං. පරේසං ආනන්ද ධම්මං දේසෙන්තේන ඉමේ පඤ්ච ධම්මා අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරේසං ධම්මෝ දේසේතබ්බෝ.”
(අංගුත්තර පඤ්චක සද්ධම්මවග්ග)
තේරුම:
“ආනන්දය, අනුන්ට දහම් දෙසීම පහසු නැත. ආනන්දය, අනුන්ට දහම් දෙසන්නහු විසින් කරුණු පසක් තබා තුළ තබාගෙන අනුන්ට දහම් දෙසිය යුතු ය. කවර කරුණු පසෙක් ද? යත් :- දාන කථා ශීලකථාදි වශයෙන් පිළිවෙලින් කරන කථාවක් කරමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය. කරුණු දැක්වීම් වශයෙන් කරන කථාවක් කරමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය. දුකට පත් සත්ත්වයන් ඉන් මුදවමිය යන කරුණාවෙන් කථාවක් කරමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය. යම්කිසි ආමිෂයක් නිසා මේ ධර්ම කථාව නො කෙරෙමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය. තමාගේ ද අනුන්ගේ ද ගුණ නො නසා කථාවක් කරමි යි අනුන්ට දහම් දෙසිය යුතු ය.
මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ බණ ය කියා තමාට සිතෙන වල්පල් මොනවාවත් කියන්නේ නැති ව ක්‍රමානුකූල ව හේතුදාහරණ දක්වා ඒ ඒ කරුණු පහදමින් ලාභාපේක්ෂාවෙන් ද ප්‍රසිද්ධවීම් ආදියෙන් ද තමා උසස් වීමේ අපේක්ෂාවෙන් හා අනුන්ට පහර ගැසීමේ අපේක්ෂාවෙන් ද තොව සත්ත්වයන් දුකින් මිදවීමේ කරුණාධ්‍යාශයෙන් ම දහම් දෙසීම කළ යුතු බව ය. පරිශුද්ධ ධර්ම දේශනාවක් වන්නේ එසේ යහපත් අදහසින් දහම් දෙසන ධර්මකථිකයා ගේ ධර්මය ය. ධර්ම දේශනයේ පරිශුද්ධාපරිශුද්ධභාවය තථාගතයන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේ ය.
“යෝ හි කෝචි භික්ඛවේ, භික්ඛු එවං චිත්තෝ පරේසං ධම්මං දේසේති, ‘අහෝ වත මේ ධම්මං සුණෙය්‍යුං, සුත්වා ච පන ධම්මං පසීදෙය්‍යුං, පසන්නා ච මේ පසන්නාකාරං කරෙය්‍යුන්ති” එවරූපස්ස භික්ඛවේ, භික්ඛුනො ධම්මදේසනා අපරිසුද්ධා හෝති.
යෝ ච භික්ඛවේ, භික්ඛු එවං චිත්තෝ පරේසං ධම්මං දේසේති “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකො අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකො පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි” ති අහෝ වත මේ ධම්මං සුණෙය්‍යුං සුත්වා ච පන ධම්මං ආජානෙය්‍යුං, ආජානිත්වා ච පන තථත්ථාය පටිපජ්ජෙය්‍යුන්ති” ඉති ධම්මංසුධම්මතං පටිච්ච පරේසං ධම්මං දේසේති, කාරුඤ්ඤං පටිච්ච පරේසං ධම්මං දේසේති, අනුද්දයං පටිච්ච පරේසං ධම්මං දේසේති, අනුකම්පං උපාදාය පරේසං ධම්මං දේසේති. ඒවරූපස්ස භික්ඛවේ, භික්ඛුනෝ පරිසුද්ධා ධම්ම දේසනා හොති.
(කස්සප සංයුත්ත)
තේරුම:
“මහණෙනි, යම් භික්ෂුවක් මෙ වැනි සිතින් දහම් දෙසා ද, මාගේ දහම ඇසුව හොත් හොඳය, අසා පැහැදුණ හොත් හොඳය, පැහැදුණාහු පැහැදුණවුන් කරන සත්කාර කළ හොත් හොඳය, මහණෙනි, මෙබඳු මහණහු ගේ ධර්මදේශනය අපරිශුද්ධ ය.
මහණෙනි, යම් භික්ෂුවක් මෙබඳු සිතින් දහම් දෙසා ද භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය මනා කොට දේශනය කරන ලද්දක් ය, තමා විසින් ම දත හැකියක, එකෙණෙහි ම ලැබිය හැකි ඵල ඇතියක, එන්න බලන්න යයි කියා දැක්වීමට සුදුසු වූවක, තම තමන්ගේ සිත්වලට ඇතුළු කරගත යුත්තක, නුවණැතියන්ට තමා ගේ සන්තානයෙහි ම දැකියක හැකියක, මගේ ධරම්ය ඇසුවහොත් යහපත, ඒ ධර්මය තේරුම් ගතහොත් යහපත, ඒ ධර්මය අනුව පිළිපන් හොත් යහපත, මෙසේ ධර්මයේ යහපත් බව නිසා ම දහම් දෙසා ද කරුණාව නිසා ම දහම් දෙසා ද එබඳු භික්ෂුව ගේ ධර්ම දේශනය ශුද්ධ ය.”
“ඉධෙකච්ඡෝ වේසියාගෝචරෝ වා හෝති. විධවා ගෝචරෝ වා හෝති, ථුල්ලකුමාරි ගෝචරෝ වා හෝති, පණ්ඩක ගෝචරෝ වා හෝති, භික්ඛුනී ගෝචරෝ වා හෝති, පානාගාරගෝචරෝ වා හෝති, සංසට්ඨෝ විහරති රාජූහි රාජමහාමත්තේහි තිත්ථියේහි තිත්ථියසාවකහි අනනුලෝමිකේන සංසග්ගේන, යානි වා පන තානි කුලානි අස්සද්ධානි අප්පසන්නානි අනෝපානභූතානි අක්කෝසක පරිහාසකානි අනත්ථකාමානි අහිතකාමානි අඵාසු කාමානි අයෝගක්ඛෙමකාමානි භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං තථාරූපානි කුලානි සේවති භජති පයිරුපාසති. අයං වුච්චති අගෝචරෝ.
(සාරිපුත්ත සුත්ත නිද්දෙස)
මේ පාඨයෙන් දැක්වෙන පරිදි පැවිද්දන් විසින් වෙසඟනන් ද ථුල්ලකුමාරිකාවන් ද (වැඩි වයසට පැමිණි විවාහ නොවූ ස්ත්‍රීන්) පණ්ඩකයන් ද භික්ෂුණීන් ද සුරා සැල් ද ඇසුරු නො කළ යුතු ය. රජුන් හා ඇමතියන් හා තීර්ථකයන් හා තීර්ථක ශ්‍රාවකයන් හා නුසුදුසු පරිදි ආශ්‍රයට නො පැමිණිය යුතු ය. භික්ෂු භික්ෂුණී උපාසකෝපාසිකාවන්ට විරුද්ධ ව ඔවුනට ආක්‍රෝශ පරිභව කරන අය භජනය නො කළ යුතු ය.
පැවිද්දන්ට ඉතා ම හිතවත් පිරිස ඉතා ම උපකාරක පිරිස උපාසිකා පිරිස ය. ඔවුන්ගේ උපකාරය නැති නම් පැවිද්දන්ට මේ බුදුසස්න පවත්වා ගෙන යෑමට ද අපහසු ය. එහෙත් පැවිද්දන්ගේ විනාශයටත් නොයෙක් විට හේතු වන්නේ ස්ත්‍රිය ම ය. මේ සස්නෙහි ස්ත්‍රීන් නිසා පරිහාණියට පත් වූ පැවිද්දෝ බොහෝ ය. සාමාන්‍ය පැවිද්දන් තබා ධ්‍යාන ලබා අහසින් යමින් සිටි ඇතැම් පැවිද්දෝ ද ස්ත්‍රීන් නිසා පරිහාණියට පත්වූහ. එ බැවින් පැවිද්දන් විසින් ස්ත්‍රීන් භජනය කිරීම ඉතා පරෙස්සමෙන් කළ යුතු ය. පැවිද්දන් හට මේ උපකාරක ස්ත්‍රී වර්ජනයත් නො කළ හැකි ය. ඇය හා සම්බන්ධකම් පැවැත්වීමත් බරපතල කරුණෙකි. එබැවින් තථාගතයන් වහන්සේ පිරිනිවීමට සමීප කාලයේ දී ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස; අපි ස්ත්‍රිය කෙරෙහි කෙසේ පිළිපදින්නමෝ දැ”යි විචාළහ. තථාගතයන් වහන්සේ “අදස්සනං ආනන්ද” යනුවෙන් “ආනන්දය, තොපට ස්ත්‍රිය නො දැකීම යහපතැ”යි වදාළ සේක. ආනන්ද තෙරුන් වහන්සේ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ස්ත්‍රිය දක්නට ලැබෙනවා නම් කෙසේ පිළිපදින්නමෝදැ”යි විචාළහ. තථාගතයන් වහන්සේ “අනාලාපෝ ආනන්ද” යනුවෙන් “ආනන්දය, දුටහොත් කථා නො කිරීම තොපට යහපතැ”යි වදාළ සේක. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ස්ත්‍රිය කථා කළහොත් කෙසේ පිළිපදින්නෙමුදැ”යි අනඳ හිමියෝ විචාළහ. එකල්හි තථාගතයන් වහන්සේ “සති ආනන්ද උපට්ඨපේතබ්බා” යනුවෙන් සිහිය පිහිටුවා ගත යුතු යයි වදාළ සේක. සිහිය පිහිටුවා ගැනීම යයි කියනුයේ -
“ඒථ තුම්හේ භික්ඛවෙ, මාතුමත්තීසු මාතුචිත්තං උපට්ඨපේථ, භගිනිමත්තීසු භගිනිචිත්තං උපට්ඨපේථ, ධීතුමත්තීසු ධීතුචිත්තං උපට්ඨපේථ.”
යන අවවාද පරිදි මවු තරමේ ස්ත්‍රියක හා කථා කරන කල්හි මවක යන සිත තබා ගෙන ද, නැඟණියක තරමේ ස්ත්‍රියක් හා කථා කරන කල්හි නැඟණියක යන සිත තබා ගෙන ද, දුවක පමණ ස්ත්‍රියක හා කථා කරන කල්හි දුවක යන සිත තබා ගෙන ද කථා කිරීම ය. සිහියෙන් තොරව පමණට වඩා ස්ත්‍රීන් ආශ්‍රය කිරීමෙන් විය හැකි විපතෙහි බරපතල බව මේ කථාවෙන් දත හැකි ය.
පෙර සැවැත් නුවර මව ද පුතා ද වන භික්ෂුණියක් හා භික්ෂුවක් වස් එළඹුණහ. ඒ දෙදෙන නිතර ඔවුනොවුන් දක්නට කැමැත්තෝ වූහ. මව් නිතර පුතා දක්නට යයන්නට ද පුතා නිතර මව දක්නට යන්නට ද පුරුදු වූහ. ක්‍රමයෙන් ඒ දෙදෙනා අතර සම්බන්ධය වැඩි විය. එයින් අන්‍යොන්‍ය විශ්වාසය වැඩි විය. කල් යෑමෙන් පුතාට මේ මාගේ මවය යන හැඟීම නැති විය. මවට ද මේ මාගේ පුතාය යන හැඟීම නැති විය. අන්තිමට අසද්ධර්ම ප්‍රතිසේවනයෙන් ඒ දෙදෙනා ම පැවිද්දෙන් පිරිහුණෝ ය. ඒ කාරණය භික්ෂූහු දැන තථාගතයන් වහන්සේට සැල කළෝ ය. එකල්හි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
“නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකරූපම්පි සමනුපස්සමි, ඒවං රජනීයං ඒවං කමනීයං ඒවං මදනීයං ඒවං බන්ධනීයං එවං මුච්ඡනීයං ඒවං අන්තරායකරං අනුත්තරස්ස යෝගක්ඛෙමස්ස අධිගමාය. යථයිදං භික්ඛවෙ, ඉත්ථිරූපං, ඉත්ථිරූපේ භික්ඛවේ, සත්තා රත්තා ගථිතා ගිද්ධා මුච්ඡිතා අජ්ඣෝපන්නා තේ දීඝරත්තං සෝචන්ති ඉත්ථිරූපවසානුගා.
නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකසද්දම්පි-පෙ-ඒකගන්ධම්පි-පෙ-ඒකරසම්පි-පෙ-ඒකඵොට්ඨබ්බම්පි සමනුපස්සාමි, යං ඒවං රජනීයං ඒවං කමනීයං ඒවං මදනීයං ඒවං බන්ධනීයං ඒවං මුච්ඡනීයං ඒවං අන්තරායකරං අනුත්තරස්ස යෝගක්ඛෙමස්ස අධිගමාය, යථයිදං භික්ඛවෙ, ඉත්ථි ඵොට්ඨබ්බෝ. ඉත්ථි ඵොට්ඨබ්බේ භික්ඛවෙ, සත්තා රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා. තේ දීඝරත්තං සෝචන්ති ඉත්ථි ඵොට්ඨබ්බවසානුගා.
ඉත්ථි භික්ඛවේ, ගච්ඡන්තීපි පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. ඨිතාපි නිසින්නාපි සයනාපි හසන්තීපි භණන්තීපි ගායන්තීපි රෝදන්තීපි උග්ඝාති තාපි, මාතාපි පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. යං හි තං භික්ඛවේ, සම්මා වදමානෝ වදෙය්‍ය සමන්තපාසෝ මාරස්සාති මාතුගාමං. ඒවං සම්මා වදමානෝ වදෙය්‍ය සමන්තපාසො මාරස්සාති.”
(අංගුත්තර පඤ්චක නීවරණ වග්ග)
මෙහි අදහස මෙසේය:
“මහණෙනි ස්ත්‍රී රූපය තරම් පුරුෂයන් ගේ සිත් ඇලුම් කරන බැඳෙන මත් කරවන ගොඩ එනු නො හැකි ලෙස එරෙන අනිකක් මම නො දනිමි. මහණෙනි, ස්ත්‍රීරූපයට වසඟ වූ එහි ඇලුණා වූ බැඳුණා වූ එරුණා වූ සත්ත්වයෝ දීර්ඝ කාලයක් ශෝක කරන්නාහ.
මහණෙනි, ස්ත්‍රී ශබ්ද-පෙ-ස්ත්‍රී ගන්ධය-පෙ-ස්ත්‍රී රසය-පෙ- ස්ත්‍රී ස්ප්‍රෂ්ටව්‍යය තරම් පුරුෂයන්ගේ සිත් ඇලුම් කරන බැඳෙන මත් කරවන ගොඩ එන් නො හැකි සේ එරෙන අන් එක් දෙයකුදු මම නො දකිමි. මහණෙනි, ස්ත්‍රී ස්ප්‍රෂ්ටව්‍යයට වසඟ වූ එහි ඇලුණා වූ බැඳුණා වූ එරුණා වූ සත්ත්වයෝ බොහෝ කල් ශෝක කරන්නාහ.
මහණෙනි, ස්ත්‍රී යන්නී ද පුරුෂයා ගේ සිත් ගන්නීය. සිටින්නී ද පුරුෂයාගේ සිත් ගන්නී ය. හිඳින්නී ද පුරුෂයාගේ සිත් ගන්නී ය. නිදන්නී ද පුරුෂයාගේ සිත් ගන්නීය. සිනහ වන්නී ද පුරුෂයා ගේ සිත් ගන්නී ය. කථා කරන්නී ද පුරුෂයාගේ සිත් ගන්නී ය. ගායනය කරන්නී ද පුරුෂයාගේ සිත් ගන්නී ය. හඬන්නී ද පුරුෂයා ගේ සිත් ගන්නී ය. මව ද පුරුෂයා ගේ සිත් ගන්නී ය. මහණෙනි, මාරයා ගේ තොණ්ඩුව” ය යි කිය යුත්තේ ස්ත්‍රියට ය.
ස්ත්‍රිය මෙසේ වන බැවින් ඔවුන් ඇසුරු කරන පැවිද්දන් ඉතා පරෙස්සමෙන් එය කළ යුතු ය. ඇතැම් නවක පැවිද්දෝ වරදක් කරන්නේ නැති නම් ස්ත්‍රියක හා කථා කළාට ස්ත්‍රියකට යමක් දුන්නාට ඇගෙන් යමක් ගත්තාට ඇති වරද කුමක්දැ” යි කියමින් ස්ත්‍රීන් හා ආශ්‍රයට පැමිණෙති. ඔවුන් මුලින් එසේ කරන්නේ යම් කිසි අනාගත බලාපොරොත්තුවක් ඇති ව නො ව හුදු විනෝදය පිණිස ය. එහෙත් එසේ කර ගෙන යන ඒ පැවිද්දන් තුළ ඔවුන්ට නො දැනීම කාමරාගය හට ගනී. ඔවුන්ට නො දැනීම ක්‍රමයෙන් එය මෝරයි.
“කාමච්ඡන්දනීවරණා භික්ඛවේ, අන්ධකරණං අචක්ඛුකරණං අඤ්ඤාණකරණං පඤ්ඤානිරෝධියං විඝාතපක්ඛියං අනිබ්බාන සංවත්තනිකං”
(බොජ්ඣංග සංයුත්ත)
යනුවෙන් “මහණෙනි, කාමච්ඡන්දය සත්ත්වයා අන්ධ කරන්නක්ය, නුවණැස ඇති නො කරන්නක් ය, මෝඩ කරන්නක්ය, නුවණ නැති කරන්නක් ය, දුකට පක්‍ෂ වූවක්ය, නිවන් පිණිස නො පවත්නකැ”යි වදාරා ඇති පරිදි කාමච්ඡන්දය මේරූ කල්හි එයින් ද පැවිද්දා අන්ධ වේ. අනාගතයේ දී තමාට විය හැකි නපුර ඔහුට නො පෙනෙන්නේ ය. අන්ධභාවය නිසා ආචාර්යෝපාධ්‍යායයන් කරන අවවාදානුශාසනා ඔහුට නො වැටහෙන්නේ ය. අන්‍ය හිතවතුන් කරන අවවාදානුශාසනා ඔහුට නො වැටහෙන්නේ ය. අවවාද කරන තැනැත්තා සතුරකු ලෙස ඔහුට පෙනෙන්නට වන්නේ ය එබඳු අය නොයෙක් විට ශාසන ප්‍රතිපත්තියෙන් පිරිහී සිවුරු හැර ගොස් තමන් බලාපොරොත්තු වූ කරුණත් සිදු කර ගන්නට නො ලැබී මහත් දුකට පත් වෙති. ඔවුනට කාරණය වැටහෙන්නේ සියල්ල සිදු වී අවසන් වූ පසුව ය. ස්ත්‍රීන් ඇසුරු කිරීම භයානක බැවින් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
සල්ලපේ අසිහත්ථෙන පිසාචේන පි සල්ලපේ.
ආසිවිසම්පි ආසීදේ යේන දට්ඨෝ න ජීවති.
නත්වේව ඒකෝ ඒකාය මාතුගාමේන සල්ලපේ.
මුට්ඨස්සතිං තා බන්ධති පෙක්ඛිතේන සිතේන ච
(අංගුත්තර පඤ්චක නිපාත)
තේරුම:
හිස සිඳිනු පිණිස කඩුවක් අතෙහි ඇති ව ඉන්නහු හා කථා කරන්නේ ය. කන්නට ආ යකු සමඟ ද කථා කරන්නේය. දෂ්ට කළහොත් ජීවත් නොවන සර්පයා හා ද ගැටෙන්නේ ය. තනි වූ මාගමක් හා තනි ව කථා නො කරන්නේ ය. සිහි මුළා වූ පුරුෂයා බැල්මෙන් හා සිනාවෙන් ඈ බැඳ ගන්නී ය.
පාරාපරිය මහරහතන් වහන්සේ ද මෙසේ වදාළහ.
“ඉත්ථිරූපේ ඉත්ථිසරේ පොට්ඨබ්බේපි ච ඉත්ථියා,
ඉත්ථිගන්ධෙසු සාරත්තෝ විවිධං වින්දතේ දුඛං”
ඉත්ථිසෝතානි සබ්බානි සන්දන්ති පඤ්ච පඤ්චසූ
තේසමාවරණං කාතුං යෝ සක්කෝති විරීයවා,
සෝ අත්ථවා සෝ ධම්මට්ඨෝ සෝ දක්ඛෝ සෝ විචක්ඛණෝ.
තේරුම:
ස්ත්‍රී රූපයෙහි ද ස්ත්‍රී ශබ්දයෙහි ද ස්ත්‍රී ස්ප්‍රශ්ටව්‍යයෙහි ද ස්ත්‍රී ගන්ධයෙහි ද ඇලුණාහු අනේකප්‍රකාර දුක් විඳින්නාහ. ස්ත්‍රියගේ රූපාදි වූ ශ්‍රෝතස් ද ස්ත්‍රී රූපාදිය නිසා ඇති වන තෘෂ්ණා ශ්‍රෝතස් ද පුරුෂයා ගේ චක්ෂුරාදි ද්වාර පසට ගලන්නේ ය. යමකුට සිහිනුවණ උපදවා ඒවා වළකා ගත හැකි වේ නම් ඔහු වීර්‍ය්‍ය ඇතියෙකි. තමාගේ යහපත කර ගන්නෙකි. ධර්මයෙහි පිහිටියෙකි. දක්ෂයෙකි. නුවණැතියෙකි.
මේ ආර්‍ය්‍යවංශ ධර්මය පෞරාණික භික්ෂූන් වහන්සේලා ඉතා උසස් කොට සලකන ලද්දකි. අතීතයේ බොහෝ භික්ෂූන් වහන්සේලා පොහෝ දිනයන්හි නොයෙක් තැන්වල මේ ධර්මය දේශනය කළහ. ඇසූහ. ඒ බව මෙහි ඉවසීම විස්තර කිරීමේ දී දක්වා ඇති ගවරවාල අංගණයේ බණ ඇසූ පිණ්ඩපාතික තෙරුන් වහන්සේගේ කථාවෙනුත්, දීඝභාණක අභය තෙරුන් වහන්සේගේ කථාවෙනුත් පැහැදිලි වේ. ගිහියෝ ද මේ ආර්‍ය්‍ය වංශ ධර්මය ඉතා ආදරයෙන් ඇසූහ. ඒ බව මනෝරථ පූරණී අටුවාවෙහි සඳහන් වන උල්ලභකෝලකණ්ණිකවාසී උපාසිකාවගේ කථාවෙන් පැහැදිලි වේ. ඕ ආර්‍ය්‍ය වංශ ධර්මය ඇසීමට පස්යොදුනක් පයින් ගියා ය. එළිවන තුරු ධර්මය ද ඇසුවා ය. ආර්‍ය්‍යවංශ සූත්‍රය බුදුරදුන් විසින් සැවැත්නුවර ජේතවනාරාමයේ දී සතළිස් දහසක් භික්ෂූන් වහන්සේ මැද දේශනය කරන ලද්දකි.
ඒ මෙසේය:
“චත්තාරෝ මේ භික්ඛවේ අරියවංසා අග්ගඤ්ඤා රත්තඤ්ඤා වංසඤ්ඤා පෝරාණා අසංකිණ්ණා අසංකිණ්ණපුබ්බා න සංකීයන්ති න සංකීයිස්සන්ති අප්පතිකුට්ඨා සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි.” කතමේ චත්තාරෝ?
“ඉධ භික්ඛවේ, භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන චීවරේන, ඉතරීතර චීවර සන්තුට්ඨියා ච වණ්ණවාදී නච චීවරහේතු අනේසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච චීවරං න පරිතස්සති, ලද්දා ච චීවරං අගථිතෝ අමුච්ඡිතෝ අනජ්ඣාපන්නෝ ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති. තාය ච පන ඉතරීතර චීවර සන්තුට්ඨියා නෙවත්තානුකංසෙති, නෝ පරං වම්භෙති, සෝ හි තත්ථ දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරියවංසේ ඨිතෝ හෝති.
පුන ච පරං භික්ඛවෙ, භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන පිණ්ඩපාතෙන, ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨියා ච වණ්ණවාදි, න ච පිණ්ඩපාත හේතු අනේසනං අප්පතිරූපං ආපජ්ජති. අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති. ලද්ධා ච පිණ්ඩපාතං අගථිතෝ අමුච්ඡිතෝ අනජ්ඣාපන්නෝ ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති, තාය ච පන ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨියා නේවත්තානුක්කංසේති, නෝ පරං වම්භෙති, සෝ හි තත්ථ දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරියවංසේ ඨිතෝ හෝති.
පුන ච පරං භික්ඛවෙ, භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන සේනාසනේන, ඉතරීතර සේනාසන සන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච සේනාසන හේතු අනේසනං අප්පතිරූප ආපජ්ජති, අලද්ධා ච සේනාසනං න පරිතස්සති. ලද්ධා ච සේනාසනං අගථිතෝ අමුච්ඡිතෝ අනජ්ඣාපන්නෝ ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති, තාය ච පන ඉතරීතරසේනාසන සන්තුට්ඨියා නේවත්තානුක්කංසේති, නෝ පරං වම්භෙති, සෝ හි තත්ථ දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරියවංසේ ඨිතෝ හෝති.
පුන ච පරං භික්ඛවෙ, භික්ඛු භාවනාරාමෝ හෝති භාවනාරතෝ. පහාණාරාමෝ හෝති පහාණරතෝ, තාය ච පන භාවනාරාමතාය භාවනාරතියා පහාණාරාමතාය පහාණරතියා නේ ව අත්තානුක්කංසේති, නෝ පරං වම්භේති, සෝ හි තත්ථ දක්ඛෝ අනලසො සම්පජානෝ පතිස්සතෝ, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරියවංසේ ඨිතෝ හෝති.
ඉමේ ඛො භික්ඛවෙ චත්තාරො අරියවංසා අග්ගඤ්ඤා රත්තඤ්ඤා වංසඤ්ඤා පොරාණා අසඞ්කිණ්ණා අසඞ්කිණ්ණ පුබ්බා අප්පතිකුට්ඨා සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි.
ඉමේහි ච පන චතූහි අරියවංසේහි සමන්නාගතෝ භික්ඛු පුරත්ථිමාය චේපි දිසාය විහරති ස්වේව අරතිං සහති. න තං අරති සහති. පච්ඡිමාය චේපි දිසාය විහරති. ස්වේව අරතිං සහති. න තං අරති සහති. උත්තරාය චේපි දිසාය විහරති, ස්වේව අරතිං සහති, න තං අරති සහති. දක්ඛිණාය චේපි දිසාය විහරති. ස්වේව අරතිං සහති. න තං අරති සහති. දක්ඛිණාය චේපි දිසාය විහරති. ස්වේව අරතිං සහති. න තං අරති සහති. තං කිස්ස හෙතු? අතිසහොහි භික්ඛවෙ, ධීරොති.”
“නාරති සහති වීරං නාරති වීර සංහති,
ධීරෝ ව අරතිං සහති ධීරො හි අරතිං සහෝ,
-
සබ්බකම්ම වියාකතං පනුන්නං කෝ නිවාරයේ
නෙක්ඛං ජම්බෝදනස්සේ ව කෝ තං නින්දිතුමරහති
දේවා පි නං පසංසන්ති බ්‍රහ්මුනා පි පසංසිතෝති.”
ක්ලේශයන් කෙරෙන් දුරු ව වෙසෙන බැවින් ද, අනර්ථයෙහි නො යෙදෙන බැවින් ද, අර්ථයෙහි යෙදෙන බැවින් ද දෙවියන් සහිත ලෝකයා විසින් පිදිය යුතු බැවින් ද බුදුවරයෝ ද පසේ බුදුවරයෝ ද බුද්ධශ්‍රාවකයෝ ද ආර්‍ය්‍ය නම් වෙති. ලොවුතුරා බුදුවරයෝ ම හෝ ආර්‍ය්‍ය නම් වෙති. මෙයින් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මත්තෙහි එක් කපෙක තණ්හංකරය, මේධංකරය, සරණංකරය, දීපංකරය යි බුදුවරයන් වහන්සේලා සතර නමක් ලොව පහළ වූහ. දීපංකර බුදුන් වහන්සේ පිරිනිවීමෙන් කල්ප අසංඛ්‍යයකට පසු කොණ්ඩඤ්ඤ බුදුන් වහන්සේ ලොව පහළ වූහ. උන් වහන්සේ පිරිනිවීමෙන් කල්ප අසංඛ්‍යයකින් පසු එක් කපෙක මංගලය, සුමනය, රේවතය, සෝභිතය කියා බුදුවරු සතර නමක් පහළ වූහ. සෝභිත බුදුන් වහන්සේ පිරිනිවීමෙන් කල්ප අසංඛ්‍යයකට පසු එක් කපෙක අනෝමදස්සීය, පදුමය, නාරදය කියා බුදුවරයෝ තෙනමක් පහළ වූහ. නාරද බුදුන් වහන්සේ ගෙන් කල්ප එක් අසංඛ්‍යයකට පසු එක් කපෙක පදුමුත්තර නම් බුදුන් වහන්සේ ලොව පහළ වූහ. උන් වහන්සේ ගෙන් පසු සුජාත නම් බුදුන් වහන්සේ ද, ඉන්පසු එක් කපෙක පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී යන බුදුවරයන් වහන්සේලා තෙනම ද, ඉන්පසු එක් කපෙක සිද්ධත්ථ නම් බුදුන් වහන්සේ ද, ඉන්පසු එක් කපෙක තිස්ස, ඵුස්ස යන බුදුවරයන් වහන්සේලා තෙනම ද, ඉන්පසු එක් කපෙක විපස්සී බුදුන් වහන්සේ ද, ඉන්පසු එක් කපෙක සිඛී, වෙස්සභූ යන බුදුවරයන් වහන්සේලා දෙනම ද, ඉන්පසු මේ කපෙහි කකුසන්ධ, කෝණාගමණ, කස්සප, ගෝතම යන බුදුවරයන් වහන්සේලා සතර නම ද ලොව පහළ වූහ. ඒ ලොවුතුරා බුදුවරයන් වහන්සේලාය, ඒ අතර ලොව පහළ වූ පසේ බුදුවරයන් වහන්සේලාය, උසස් ශ්‍රාවකයෝය යන ආර්‍ය්‍යයන් වහන්සේලා විසින් ඒ ආර්‍ය්‍යපරම්පරාවෙහි පවත්වා ගෙන ආවා වූ, ඉතා උසස් යයි සලකනු ලබන්නා වූ දීර්ඝ කාලයක් පවත්වන ලද්දාහුය යි සලකනු ලබන්නා වූ, බුද්ධාදීන් විසින් බැහැර නො කරන ලද්දා වූ, අතීතයෙහි කිසි ම බුදු කෙනකුන් විසින් බැහැර නො කරන ලද්දා වූ, දැනුදු බැහැර නො කරන්නා වූ, අනාගතයෙහිත් බැහැර නො කරන්නා වූ, ලෝකයෙහි ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් පණ්ඩිතයන් විසින් ගර්හා නො කරන ලද්දා වූ, කරුණු සතරක් හෙවත් පිළිවෙත් සතරක් ඇත්තේ ය. ඒ පිළිවෙත් සතර තථාගතයන් වහන්සේ විසින් ‘ආර්‍ය්‍යවංශ ධර්මයෝය’ යි වදාරන ලදහ.
ඒ ධර්ම මෙසේ ය:
යම් කිසි භික්ෂුවක් සියුම් වූ හෝ රළු වූ හෝ බර වූ හෝ සැහැල්ලු වූ හෝ අලුත් වූ හෝ පරණ වූ හෝ තමාට ලැබී ඇති කිනම් සිවුරකින් හෝ සතුටු වේ ද, ලද සිවුරකින් සතුටු වී විසීමේ ගුණ කියා ද, සිවුරු ලබනු සඳහා එක්විසි අනේසනයන්හි නො යෙදේ ද, පැවිද්දන් විසින් නො කළ යුතු දේ නො කෙරේ ද, සිවුරු නො ලැබුණේ ය කියා නො තැවේ ද, සිවුරු ලද කල්හි ඒවායේ නො ඇලී බලවත් තෘෂ්ණාවෙන් මුළා නොවී තෘෂ්ණාවට යට නො වී නුසුදුසු පරිදි සිවුරු සෙවීමේ දොස් දක්නේ තෘෂ්ණාවෙන් මිදෙන නුවණින් යුක්ත වූයේ ඒ සිවුරු පරිභෝග කෙරේ ද, ඒ ලද සිවුරකින් සතුටු වීමේ ගුණය නිසා තමා උසස් නො කෙරේ ද, ලෝභීහුය යි අන්‍ය භික්ෂූන් පහත් කොට කථා නොකෙරේ ද, චීවරසන්තෝෂයේ ගුණ කීම් ආදියට දක්‍ෂ වේ ද, අනලස වේ ද, සිහිනුවණින් යුක්ත වේ ද, ඒ භික්ෂු තෙමේ පෞරාණික වූ අග්‍ර වූ ආර්‍ය්‍යවංශයෙහි පිහිටියේ වේ.
යම් භික්ෂුවක් අප්‍රණීත වූ හෝ ප්‍රණීත වූ හෝ ලද ආහාරයකින් සතුටු වේ ද, ලද ආහාරයෙකින් සතුටු වීමේ ගුණ කියා ද, ආහාර ලබනු සඳහා එක්විසි අනේසනයන්හි නො යෙදේ ද, පැවිද්දන් විසින් නො කළ යුතු දේ නො කෙරේ ද, ආහාර නො ලැබුණේය කියා නො තැවේ ද, ආහාර ලද කල්හි එහි නො ඇලී තණ්හාවෙන් මුළා නොවී තණ්හාවට යට නො වී නුසුදුසු පරිදි ආහාර සෙවීමේ දොස් දක්නේ තෘෂ්ණාවෙන් මිදෙන නුවණින් යුක්ත වූයේ ආහාර වළඳා ද, ඒ ලද ආහාරයෙකින් සතුටු වීමේ ගුණය නිසා තමා උසස් කොට කථා නො කෙරේ ද ඒ ගුණය නැතය කියා අනුන් පහත් කොට කථා නොකෙරේද පිණ්ඩපාත සන්තෝෂයේ ගුණ කීම් ආදියට දක්‍ෂ වේ ද, අනලස වේ ද, සිහිනුවණින් යුක්ත වේ ද, ඒ භික්ෂු තෙමේ පෞරාණික වූ අග්‍ර වූ ආර්‍ය්‍යවංශයෙහි පිහිටියේ වේ.
යම් භික්ෂුවක් ලද සෙනසුනකින් සතුටු වේ ද, ලද සෙනසුනකින් සතුටු වීමේ ගුණ කියා ද, සේනාසනයන් නිසා එක් විසි අනේසනයන්ට නොපැමිණේ ද පැවිද්දන්ට අයෝග්‍ය දේ නො කෙරේ ද, සෙනසුන් නො ලැබීමෙන් නො තැවේ ද, සෙනසුනක් ලද කල්හි එහි නො ඇලී තණ්හාවෙන් මුළා නොවී තණ්හාවට යට නොවී, නුසුදුසු පරිදි සෙනසුන් සෙවීමේ වරද දක්නේ තණ්හාවෙන් මිදෙන නුවණින් යුක්ත වූයේ සෙනසුන පරිභෝග කෙරේ ද, ලද සෙනසුනකින් සතුටු වී සිටීමේ ගුණයෙන් තමා උසස් කොට කථා නො කෙරේ ද, ඒ ගුණය නැතය කියා අනුන් පහත් කොට කථා නො කෙරේ ද, ලද සෙනසුනකින් සතුටු වීමේ ගුණ කීම් ආදියට දක්‍ෂ වේ ද, අනලස වේ ද, සිහිනුවණින් යුක්ත වේ ද, ඒ භික්ෂු තෙමේ පෞරාණික වූ අග්‍ර වූ ආර්‍ය්‍යවංශයෙහි පිහිටියේ වේ.
යම් භික්ෂුවක් භාවනාවට සතුටු වේ ද, භාවනාවෙහි ඇලී වාසය කෙරේ ද, ක්ලේශ ප්‍රහාණයට සතුටු වේ ද, ක්ලේශ ප්‍රහාණයෙහි ඇලී වෙසේ ද, ඒ ගුණයෙන් තමා උසස් කොට කථා නො කෙරේ ද, ඒ ගුණය නැතය යි අනුන් පහත් කොට කථා නො කෙරේ ද, භාවනාවෙහි දක්‍ෂ වේ ද, අනලස වේ ද, සිහිනුවණින් යුක්ත වේ ද ඒ භික්ෂු තෙමේ පෞරාණික වූ අග්‍ර වූ ආර්‍ය්‍යවංශයෙහි පිහිටියේ වේ.
මෙතෙකින් ආර්‍ය්‍යවංශධර්මය සැකෙවින් දක්වන ලදි. මෙය විස්තර කරතහොත් අමුතු පොතක් ලිවීමට තරම් කරුණු ඇත්තේ ය. සියලු ම පැවිද්දන් විසින් මෙහි දැක්වූ පමණින්වත් ආර්‍ය්‍යවංශ ධර්මය මතක තබා ගත යුතුය. අංග සම්පූර්ණ කොට උසස් ලෙස මේ ආර්‍ය්‍යවංශ ප්‍රතිපදාවෙහි සෑම පැවිද්දෝ ම පිහිටීමට සමත් නො වෙති. එහෙත් සෑම පැවිද්දන් ම එක්තරා ප්‍රමාණයකින් වත් මේ ධර්මයෙහි පිහිටිය යුතු ය.
න චීවර හේතු අනේසනං අප්පතිරූපං ආපජ්ජති. න පිණ්ඩපාත හේතු අනේසනං අප්පතිරූපං ආපජ්ජති, න සේනාසන හේතු අනේසනං අප්පතිරූපං ආපජ්ජති. යනුවෙන් දක්වා ඇති කරුණුවලින් සැම පැවිද්දන් විසින් ම වැළකිය යුතු ය. ලාභසත්කාරාපේක්ෂාවෙන් නැති ගුණ දැක්වීම් ආදි කුහකකම් නො කළ යුතු ය. ඇති ගුණ වුව ද ලාභ සත්කාරාපේක්ෂාවෙන් ප්‍රකාශ කිරීම පැවිද්දන්ට නුසුදුසු ය. ලාභාපේක්ෂාවෙන් අනුන්ට බොරු ස්තුති නො කළ යුතු ය. බොරු හිතවත්කම් නොදැක්විය යුතු ය. තමාට ප්‍රත්‍යය ලැබෙන සැටියට යම් යම් දේ කියා අනුන් මුළා නොකළ යුතු ය. සම්මාදමට නො බැසිය යුතු ය. වෙදකමට - වෙළඳාමට - ශාස්ත්‍ර කීමට - කේන්ද්‍ර බලා පලාපල කීමට - වස්කවි - සෙත්කවි කීමට - මන්ත්‍ර ගුරුකම් කිරීමට - දෙවියන් ඇදහීමට නො බැසිය යුතුය. පණිවිඩ ගෙන යෑම් ආදි ගිහියන් ගේ වැඩ නො කළ යුතු ය.
වුවමනා විටෙක චීවරාදි ප්‍රත්‍යයන් ඉල්ලන ලෙස පවරා ඇති දායකයන් හා නෑයන් ද හැර අන්‍යයන්ගෙන් චීවර පිණ්ඩපාත සේනාසන ප්‍රත්‍යයන් ඉල්ලා ලබා ගත යුතු ය. ග්ලානප්‍රත්‍යය කාගෙන් වුව ද ඉල්ලා ගැනීමෙන් වරද නැත.
නෑයෝ නම් මා පිය දෙදෙනා ය, ඔවුන්ගේ දූදරුවෝ ය, ඔවුන් ගේ සහෝදර සහෝදරියෝ ය, මා පියන්ගේ මා පිය මුතුන් මිත්තේ ය, ඔවුන්ගේ දූ දරුවෝ ය, මා පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ හා දූ දරුවන්ගේ දූ දරුවෝ ය යන මොව්හු ය. ඉහළ පහළ දෙකට සත් වන පරම්පරාව දක්වා නෑ කම ඇත්තේ ය.
භික්ෂු සාමණේරයන් හට අප්පිච්ඡතාදි ගුණ ඇති වීම සඳහා ඔවුන්ගේ ශීලයට අතිරේක වශයෙන් පිරිය යුතු ධුතංග තෙළෙසක් ඇත්තේ ය. ධුතංග පිරීම ද පැවිද්දන් විසින් තරමක් වත් කළ යුතු ය. මුළු ජීවිත කාලයට ම කවදාවත් ධුතංගයක් පුරා නැති නම් එය පැවිදි ජීවිතයට මදිකමකි. සෑම පැවිද්දකුට ම එය එක්තරා ප්‍රමාණයකින් වත් කළ හැකි ය.
“පඤ්ච සේනාසනේ වුත්තා පඤ්ච ආහාර නිස්සිතා,
ඒකෝ විරියසංයුත්තෝ ද්වේ ච චීවරනිස්සිතා.”
යනුවෙන් දැක්වෙන පරිදි ඉතරීතර චීවර සන්තෝසය වූ පළමුවන ආර්‍ය්‍යවංශ ධර්මය පිළිබඳ වූ ධුතංග දෙකක් ද, ඉතරීතර පිණ්ඩපාතය සන්තෝසය වූ දෙවන ආර්‍ය්‍යවංශ ධර්මය පිළිබඳ වූ ධුතංග පසක් ද, ඉතරීතර සේනාසන සන්තෝසය වූ තුන්වන ආර්‍ය්‍යවංශ ධර්මය පිළිබඳ වූ ධුතංග පසක් ද, වීර්‍ය්‍ය පිළිබඳ වූ එක් ධුතංගයක් ද ඇත්තේ ය. එය භාවනාරාමතා නමැති සතර වන ආර්‍ය්‍යවංශ ධර්මයට උපකාර ධුතංගයෙකි.
තේචීවරිකංගය පාංසුකූලිකංගය යන ධුතංග දෙක ඉතරීතර චීවර සන්තෝසය පිළිබඳ ධුතංගයෝ ය.
පිණ්ඩපාතිකංගය සපදානචාරිකංගය ඒකාසනිකංගය පත්ත-පිණ්ඩිකංගය ඛලූපච්ඡාභත්තිකංගය යන ධුතංග පස ඉතරීතරපිණ්ඩපාත සන්තෝසය පිළිබඳ ධුතංගයෝ ය.
ආරඤ්ඤකංගය රුක්ඛමූලිකංගය අබ්භෝකාසිකංගය සෝසානිකංගය යථාසන්ථතිකංගය යන පස ඉතරීතර සේනාසන සන්තෝසය පිළිබඳ ධුතංගයෝ ය.
නේසජ්ජිකංගය භාවනාරාමතා ආර්‍ය්‍යවංශධර්මය පිළිබඳ ධුතංගයෝ ය.
මේ ධුතංග පිළිබඳ විස්තරය විශුද්ධිමාර්ගයෙන් දත යුතු ය. මේ ධුතංග තමාට කැමති කාලයක් රැකිය හැකි ය. එක් දිනක් වුවත් දින බොහෝ ගණනක් වුවත් පැය ගණනක් වුවත් රැකීම වරද නැත. ධුතංගයක් සමාදන් වුවහොත් එය දිවි හිමියෙන් රැකිය යුතුය කියා නියමයක් නැත. යම් පමණ කාලයක් රැකිය හොත් එපමණට එහි අනුසස ලැබෙන්නේ ය. සිකපද කැඩීමෙන් වරදක් වන්නාක් මෙන් ධුතංගය කැඩීමෙන් වන වරදක් නැත. ධුතංග සමාදන්වීමට අනිකකු වෙත යෑමට වුවමනාවක් නැත. එය තමා විසින් ම ඉටා ගැනීම ප්‍රමාණවත් ය.
පිණ්ඩපාතිකංගය:
මෙය පිඬු සිඟා වළඳනු රිසි භික්ෂු සාමණේර කාහටත් සමාදන් වී රැකියා හැකිය. “අතිරේකලාභං පටික්ඛිපාමි, පිණ්ඩපාතිකංගං සමාදියාමි” යි ඉටා ගැනීමෙන් සමාදන් විය හැකිය. විස්තර විශුද්ධි මාර්ගයෙන් ගන්න.
ඒකාසනිකංගය:
“නානාසනභෝජනං පටික්ඛිපාමි ඒකාසනිකඞ්ගං සමාදියාමි” යි ඉටා ගැනීමෙන් මෙය සමාදන් විය යුතු ය. මෙය සමාදන් වූවහු විසින් ඒ දිනයෙහි එක් වරක් පමණක් ආහාර වැළඳිය යුතු ය. වළඳන්නට වාඩි වූ පසු ඒ වාඩි වීමේදී ම දවසට සෑහෙන පමණ ආහාර වැළඳිය යුතු ය. අසුනෙන් නැගිටීමෙන් පසු එදින තවත් ආහාර වැළඳුව හොත් ධුතංගය බිඳේ. ගිලන්පස වැළඳීමෙන් ධුතංගය නො බිඳේ.
පත්තපිණ්ඩිකංගය:
“දුතියකභාජනං පටික්ඛිපාමි.පත්තපිණ්ඩිකංගං සමාදියාමි” යි ඉටා ගැනීමෙන් මෙය සමාදන් විය යුතු ය. මෙය සමාදන් වූවහු විසින් සියල්ල පාත්‍රයෙහි ම වැළඳිය යුතු ය. කිරි - කැඳ ආදි දියාරු වර්ග වුව ද පාත්‍රයට ම ගෙන වැළඳිය යුතු ය. මිශ්‍ර වුව හොත් වැළඳිය නො හෙන පාන වර්ග වෙන වෙන ම වරින් වර පාත්‍රයට ගෙන වැළඳිය හැකි ය. ගිලන්පස අන් බඳුනක වැළඳීම වරද නැත. ශුද්ධ ජලය ද කිනම් බඳුනක වුව වැළඳිය හැකි ය. පිණ්ඩපාතිකංගය - ඒකාසනිකංගය - පත්ත පිණ්ඩිකංගය යන තුන ම එක විට සමාදන් වී රැකිය හැකි ය. ඒකාසනිකංග පත්තපිණ්ඩිකංග දෙක වුව ද එක විට සමාදන් වී රැකිය හැකිය. බොහෝ දෙනා මේ අංග දෙක එක වර ම සමාදන් වී රකිති. මේ ධුතංග තමාට හැකි දිනවල දී සමාදන් වී ආරක්‍ෂා කරන්න. මේ ධුතංග දිගට ම වැඩි දින ගණනක් රැකිය නො හෙන පැවිද්දන්ට, පොහෝ දිනවලදී හෝ රැකිය හැකි ය.
නේසජ්ජිකංගය:
“සෙය්‍යං පටික්ඛිපාමි, නේසජ්ජිකංගං සමාදියාමි” යි ඉටා ගැනීමෙන් මෙය සමාදන් විය හැකි ය. සමාදන් වූවහු විසින් හෝනා ඉරියව්ව හැර ඉතිරි තුන් ඉරියව්වෙන් පමණක් විසිය යුතුය. වාඩි වී යමකට හේත්තු වී නින්ද යෑමෙන් ධුතංගය නො බිඳේ. නින්ද නො ගියේ ද අසුනක පිට තබා ඇලවුව හොත් ධුතංගය බිඳේ.
එළි වන තුරු නිදා ගැනීම පැවිද්දන්ට අයෝග්‍ය ය. අනුපසම්පන්නයන් හා එළිවන තුරු එක වහළ යට නිදන පැවිද්දෝ සහසෙය්‍යාපත්තියට ද දිනපතා පැමිණෙති. ප්‍රත්‍යවේක්ෂා නො කිරීමේ වරදට ද සමහර විට හසුවෙති. ඒ නිසා ම උපසම්පදා සාමණේර හැම පැවිද්දකු විසින් ම එළි වන්නට පැයකට දෙකකට කලින් නැගිටීම පුරුදු කර ගත යුතුය. නැඟිට මුව සෝදා ගෙන තුනුරුවන් වැඳ ප්‍රත්‍යවේක්ෂා කොට යම්කිසි භාවනාවක යෙදිය යුතු ය. ඉන්පසු වත් පිළිවෙත් කළ යුතු ය. එසේ කරන පැවිද්දාහට නේසජ්ජිකංගය සමාදන් වී ඒවා කළ හැකිය. ඒ සමාදන් වූ නේසජ්ජිකංගය දවසෙහි බොහෝ වේලාවක් පැවැත්විය හැකි ය. වීර්‍ය්‍ය ඇතියකුට එදින රාත්‍රිය වන තෙක් එය පැවැත්විය හැකි ය. අරුණට පෙර නැඟිට භාවනාවෙහි යෙදෙන්නහුට භාවනාරාමතා ආර්‍ය්‍ය වංශ ධර්මය ද පිරෙන්නේ ය. මේ කාලය ආවාසවලින් පිටතට වී ගත කළ හැකියන්නට රුක්ඛමූලිකංග අබ්භෝකාසිකංග දෙක ද නේසජ්ජිකංගය හා පිරිය හැකි ය.
රුක්ඛමූලිකංගය:
“ඡන්නං පටික්ඛිපාමි, රුක්ඛමූලිකංගං සමාදියාමි” යි ඉටා ගැනීමෙන් එය සමාදන් විය හැකි ය. රුක්ඛමූලිකංගය සමාදන් වූවහු විසින් පියසි යටට නො යා යුතු ය.
අබ්භෝකාසිකංගය
“ඡන්නං ච රුක්ඛමූලඤ්ච පටික්ඛිපාමි, අබ්භෝකාසිකංගං සමාදියාමි” යි ඉටා ගැනීමෙන් අබ්භෝකාසිකංගය සමාදන් විය යුතු ය. එය සමාදන් වූවහු විසින් ගස් යටට ද නො ගොස් එළිමහනේ ම විසිය යුතු ය. පළමු ව රුක්ඛමූලිකංගය සමාදන් වී පසු ව අබ්භෝකාසිකංගය සමාදන් වූවා ම ඒ ධුතංග දෙක ම එකවිට රැකේ. පළමුවෙන් නේසජ්ජිකංගයත් දෙවනුව රුක්ඛමූලිකංගයත් තෙවනුව අබ්භෝකාසිකංගයත් සමාදන් වීමෙන් ධුතංග තුන ම එකවිට රැකිය හැකි ය. ඇතැම් සැදැහැවත් පැවිද්දෝ එසේ කරති. මෙහි දක්වන ලද්දේ පහසුවෙන් රැකිය හැකි ධුතංග පමණකි.
දස ඉමේ භික්ඛවේ, ධම්මා පබ්බජිතේන අභිණ්හං පච්ච-වෙක්ඛිතබ්බා
කතමේ දස?
ඉමේ ඛෝ භික්ඛවේ, දසධම්මා පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා.
(අංගුත්තර දසක නිපාත)
තේරුම:-
මහණෙනි, මේ කරුණු දසය පැවිද්දා විසින් නැවත නැවත නිතර නිතර මෙනෙහි කළ යුතු ය.
කවර කරුණු දසයක් ද?
“මහණෙනි, මේ ධර්මයෝ දසදෙන පැවිද්දා විසින් නැවත නැවත මෙනෙහි කළ යුත්තාහු ය.
මේ දශ ධර්මය මෙනෙහි කිරීමෙන් තෘෂ්ණා මානාදි කෙලෙස් තුනී වේ. සිල්වත් වීමට වත පිළිවෙත කිරීමට භාවනා කිරීමට උත්සාහය ඇති වේ. පැවිද්දන්ට මෙය නිතර මෙනෙහි කිරීම ඉතා ප්‍රයෝජනවත් ය. එබැවින් පැරණි පැවිද්දෝ මේ සූත්‍රය දිනපතා සජ්ඣායනා කළහ. දැනුදු මෙය සැදැහැවත් පැවිද්දෝ දිනපතා සජ්ඣායනා කෙරෙති.
අන්තමිදං භික්ඛවේ ජීවිකානං යදිදං පිණ්ඩෝල්‍යං අභිසාපෝයං භික්ඛවේ, ලෝකස්මිං “පිණ්ඩෝලෝ විචරසි පත්තපාණී” ති. තඤ්ච ඛෝ එතං භික්ඛවේ, කුලපුත්තා උපෙන්ති අත්ථවසිකා. අත්ථවසං පටිච්ච, නේව රාජාභිනීතා න චෝරාභිනීතා න ඉණට්ටා න ආජීවිකාපකතා. අපි ච ඛෝ ඕතිණ්ණම්හ ජාතියා ජරාය මරණේන සෝකේහි, පරිදේවෙහි දුක්ඛේහි දෝමනස්සෙහි උපායාසේහි, දුක්ඛෝතිණ්ණා දුක්ඛපරේතා, අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායේථා”ති.
ඒවං පබ්බජිතෝ චායං භික්ඛවේ, කුලපුත්තෝ සෝ ච හෝති අභිජ්ඣාලූ කාමේසු තිබ්බරාගො ඛ්‍යාපන්නචිත්තෝ පදුට්ඨ-මනසංකප්පෝ මුට්ඨස්සති, අසම්පජානෝ අසමාහිතෝ විබ්භන්තචිත්තෝ පාකතින්ද්‍රියෝ. සෙය්‍යථාපි භික්ඛවේ, ඡවාලාතං උභතොපදිත්තං මජ්ඣෙ ගූථගතං නේව ගාමේ කට්ඨත්ථං ඵරති න අයඤ්ඤේ තථූපමාහං භික්ඛවේ, ඉමං පුග්ගලං වදාමි “ගිහිභෝගාච පරිහීනෝ, සාමඤ්ඤත්ථඤ්ච නපරිපූරේතී” ති.
ඒතමත්ථං භගවා අවෝච තත්ථෙතං ඉති වුච්චති.
ගිහීභෝගාච පරිහීනෝ සාමඤ්ඤත්ථඤ්ච දුබ්භගෝ
පරිධංසමානෝ පකිරේති ඡවාලාතංච නස්සති.
කාසාවකණ්ඨා බහවෝ පාපධම්මා අසඤ්ඤතා,
පාපං පාපේහි කම්මේහි නිරයං තේ උපපජ්ජරේ
සෙය්‍යෝ අයෝ ගුළෝ භුත්තෝ තත්තෝ අග්ගිසිඛූපමෝ
යඤ්චෙ භුඤ්ජෙය්‍ය දුස්සීලෝ රට්ඨපිණ්ඩමසඤ්ඤතෝ
(ඉතිවුත්තක තිකනිපාත)
කිඹුල්වත් පුර න්‍යග්‍රෝධාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන අවස්ථාවක දී බොහෝ භික්ෂු සාමණේරයෝ ආගන්තුකයන්ට අසුන් පනවමින් ද, සංඝලාභ බෙදා ගනිමින් ද මහාඝෝෂාවක් කරන්නට වූහ. එසේ ශබ්ද කිරීම නිසා තථාගතයන් වහන්සේ ඒ භික්ෂුසාමණේරයන් ආරාමයෙන් බැහැර කළහ. බැහැර කරනු ලැබූ ඒ හැම දෙනා ම මේ සස්නට අලුත පැමිණියෝ ය. එය දැක මහාබ්‍රහ්මයා තථාගතයන් වහන්සේ වෙත එළඹ, වැඳ එකත්පසෙක සිට බැහැර කරන ලද භික්ෂු සංඝයා හට අනුකම්පා කරන ලෙස ඉල්ලා සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අවසර දුන්හ. එකල්හි බ්‍රහ්මයා තථාගතයන් වහන්සේ විසින් අවසර දෙන ලද්දේ ය යි වැඳ ප්‍රදක්ෂිණා කොට නික්ම ගියේ ය. ඉක්බිති තථාගතයන් වහන්සේ නෙරපන ලද භික්ෂූන්ට නැවත පැමිණෙන ලෙස ආනන්ද ස්ථවිරයන් වහන්සේට සංඥා කළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන් නැවත කැඳවූහ. ඒ භික්ෂූහු බුදුන් වහන්සේ කරා එළඹ බියෙන් බියෙන් එකත් පසෙක උන්හ. තථාගතයන් වහන්සේ ඒ භික්ෂූන්ට කිනම් ධර්ම දේශනාවක් සුදුසුදැයි බලන සේක් ආමිෂය නිසා නෙරපනු ලැබූ මේ භික්ෂූන්ට මේ පිණ්ඩියාලෝප ධර්මදේශනාව සත්ප්‍රාය වන්නේය යි මේ සූත්‍ර ධර්මය දේශනා කළ සේක. පිණ්ඩියාලෝප සූත්‍රය යනු ද මේ සූත්‍රයට ව්‍යවහාර කරන තවත් නාමයෙකි.
ජීවික සූත්‍රයෙහි තේරුම
“මහණෙනි, ජීවිකාවන් අතුරෙන් මේ පිඬුසිඟීමෙන් කරන ජීවිකාව සියල්ලට අන්තය. මහණෙනි, “පතක් ගෙන තෝ සිඟාකාපිය” යන මෙය ලෝකයෙහි බැනුමකි. මහණෙනි, කුලපුත්‍රයෝ උසස් අර්ථයක් සලකා ඒ ලාමක ජීවිකාවට බසිති. ඒ කුලපුත්‍රයෝ අපරාධ කොට රජුන් විසින් අල්ලා ගන්නා ලද්දෝ ද නො වෙති. සොරුන් විසින් අල්ලා ගනු ලැබුවෝ ද නො වෙති, ණය ගෙවා ගත නොහී පලා ආවෝ ද නො වෙති. ගිහි ව ජීවත් විය නො හැකි බව නිසා පැවිදි වූවෝ ද නො වෙති. අපි ජාතියට ජරාවට මරණයට බැස සිටින්නෝ වෙමු. ශෝකයන් නිසා පරිදේවයන් නිසා දුඃඛයන් නිසා දෝමනස්සයන් නිසා උපායාසයන් නිසා දුකට බැස ගත්තාහු දුකින් මඩනා ලද්දාහු මේ දුක්ඛස්කන්ධයාගේ කෙළවර කර ගැනීමක් ඇති කර ගතහොත් යහපතැ” යි සිතා කුල පුත්‍රයෝ මේ ලාමක ජීවිකාවට බසින්නාහ.
“මහණෙනි, එසේ උසස් පරමාර්ථයකින් පැවිදි වූ කුලපුත්‍ර තෙමේ පරභාණ්ඩයන්ට ආශා කෙරේ නම්, කාමයන්හි බලවත් ඇල්ම ඇතියේ නම්, ව්‍යාපාදයෙන් කුණු වූ සිත් ඇත්තේ නම්, දුෂ්ට සිත් - දුෂ්ට කල්පනා ඇත්තේ නම්, මුළා වූ සිත් ඇත්තේ නම්, නුවණ නැත්තේ නම්, සන්සුන් සිත් නැත්තේ නම්, කුලප්පු වූ සිත් ඇත්තේ නම්, දමනය නො කරන ලද ඉන්ද්‍රිය ඇත්තේ නම්, මහණෙනි, ඒ පැවිදි තෙමේ දෙකෙළවර ගිනි ඇවිලෙන මැද අසූචි තැවරුණු ගමෙහි හෝ වනයෙහි කිසි වැඩෙකට නුසුදුසු සොහොන් පෙණෙල්ල වැනියෙක. ඔහු ගිහි සම්පත්තියෙන් ද පිරිහුණෙක. පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ වශයෙන් ලැබිය යුතු පැමිණිය යුතු ශ්‍රමණාර්ථයෙන් ද පිරිහුණෙක.”
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මෙය ද කියනු ලැබේ.
ගාථාවල තේරුම :-
“ගිහි භෝගයෙන් ද පිරිහුණා වූ, පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ සංඛ්‍යාත ශ්‍රමණාර්ථයෙන් ද පිරිහුණා වූ දුර්භාග්‍ය පුද්ගල තෙමේ විනාශ වෙමින් විසිරෙයි. සොහොන් පෙණෙල්ල මෙන් නැසේ.
බොටුවෙහි කසාවත ඇත්තා වූ ලාමකස්වභාවය ඇත්තා වූ සඤ්ඤමයක් නැත්තෝ බොහෝ ය. ඒ පාපීහු පාප කර්මයන් නිසා නරකයෙහි උපදනාහ.
සඤ්ඤමයක් නැති දුශ්ශීල පුද්ගලයා හට රටවැසියා දෙන ආහාර වැළඳීමට වඩා ගිනිසිළු බඳු ගිනියම් වූ ලොහොගුළි ගිලීම උතුම් ය.”
තථාගතයන් වහන්සේ විසින් මේ සූත්‍රය දේශනය කරන ලද්දේ දුශ්ශීලයන් සඳහා නොව පැවිදි ව රට වැසියන්ගෙන් ලැබෙන ආහාර වළඳමින් වත්පිළිවෙත් කිරීමක් නැති ව භාවනාවක් නැති ව ධර්මය උගෙනීමක් හෝ නැති ව, වෙනත් පැවිද්දන් කළ යුතු දෑ නොකර තවත් එවැනි අය එකතු කර ගෙන තිරශ්චීන කථාවෙන් හා ක්‍රීඩාවෙන් ද කාමවිතර්කාදියෙන් ද නින්දෙන් ද කාලක්ෂේපය කරන අලස පැවිද්දන් සඳහා ය. ශීල මාත්‍රය ඇත ද ඔවුන්ගේ ජීවිතය ඉතා ලාමක ය.
තථාගතයන් වහන්සේ විසින් මේ සූත්‍රයෙහි පිඬු සිඟා ගෙන පවත්වන ජීවිකාවේ ලාමක බව දක්වා තිබෙන්නේ මේ සූත්‍රය එසේ ජීවත්වන පිරිසකට දේශනා කළ හෙයිනි. කවරාකාරයෙකින් හෝ අනුන්ගෙන් ලැබෙන ආහාරයෙන් පවත්වන ජීවිකාව ලාමක ය. පැවිද්දන් නිතර මහජනයා ගේ විවේචනවලට ලක් වන්නේ මිනිසුන් නිතර ම පැවිද්දන්ට අපහාස කරන්නේ මේ අනුන් දෙන දෙයින් ජීවත්වීමනිසා ය. පිඬු සිඟා ජීවත්වන පැවිද්දාට මිනිස්සු එතරම් අපහාස නො කරති. බොහෝ දෙනා එයට පහදිති. වඩාත් මිනිසුන් අපහාස කරන්නේ විහාරයට ගෙනැවිත් දෙන දානය වළඳන පැවිද්දන්ට ය. ඒ නිසා පිඬු සිඟා පවත්වන ජීවිතයට වඩා විහාරයට ගෙනැවිත් දෙන ආහාරයෙන් ජීවත්වීම ලාමක ය. ශ්‍රමණ ජීවිතයට බට තැනැත්තා ඒ ශ්‍රමණ ජීවිතයට ගැළපෙන පරිදි අනුන් දෙන භෝජනය නො පිළිගනිමින් ධනය සපයා ජීවත්වන්නට පටන් ගන්නවා නම් එයත් ලාමක ය. එයින් ද ඒ පුද්ගලයා ගර්හාවට ලක් වේ. ශ්‍රමණ ජීවිතයට බට තැනැත්තා අනුන් නිසා ම ජීවත් විය යුතු ය. අනුන්ගේ උපකාරයෙන් පවත්වන ඒ ලාමක ජීවිත ක්‍රමය තථාගතයන් වහන්සේ විසින් පිළියෙල කර ඇත්තේ ගිහි පැවිදි දෙපක්ෂයේ ම යහපත පිණිස ය. විශේෂයෙන් ම ඒ ලාමක ජීවිකාව තථාගතයන් වහන්සේ පිළියෙළ කර තිබෙන්නේ උසස් පරමාර්ථයක් සඳහා ය. එනම් සසර දුකින් එතරවීම ය, නිවනට පැමිණීම ය. පැවිදි වී ඒ අර්ථය සිදුකර ගැනීමට වීර්ය නො කර අලස ව කාලය අපතේ හැරීම, බොහෝ වෙහෙසී බොහෝ දුක් ගෙන කුඹුරක් වපුරා ගොයම පැසුණු පසු අලසකම නිසා එය කපා නො ගැනීම වැනි ලාමක ක්‍රියාවෙකි. නිවන් ලැබීම නමැති ඒ උසස් අර්ථය පැවිදි වූ පමණින් සිල් රැකි පමණින් සිදුවන්නේ නැත. එය සිදු කර ගැනීමට බුදු දහම උගෙන අනලස ව භාවනාවෙහි යෙදිය යුතු ය.
එහෙයින් :-
“නයිදං සිථිලමාරබ්භ නයිදං අප්පේන ථාමසා,
නිබ්බානං අධිගන්තබ්බං සබ්බගන්ථප්පමෝචනං”
(භික්ඛු සංයුත්ත)
යනු වදාරන ලදි. “සර්වග්‍රන්ථයන්ගෙන් මිදීම වූ මේ නිවන ලිහිල් වීර්යයකින් මඳ වීර්‍ය්‍යයකින් නො ලැබිය හැකිය” යනු එහි තේරුම ය. කල්ප කෝටි ගණනකිනුදු ලැබිය නො හෙන මේ බුදුසස්නෙහි දුලබ පැවිද්ද ලැබූවන් විසින් එයින් ලැබිය හැකි උසස් ප්‍රයෝජනය ලැබීමට උත්සාහ කළ යුතු ය.
පරම දුර්ලභ වූ ශාස්තෘශාසනයෙහි පැවිද්ද ලද්දා වූ කුලපුත්‍රයන් විසින් නො පැමිණි ධර්මයන්ට පැමිණීම පිණිස නො ලැබූ ධර්ම ලබනු පිණිස වීර්‍ය්‍ය කළ යුතු අයුරු තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේ ය.
“අප්පටිවානි සුදාහං භික්ඛවෙ, පදහාමි කාමං තචෝ ච නහරූ ච අට්ඨි ච අවසිස්සතු සරීරේ උපසුස්සතු මංසලෝහිතං යං තං පුරිසථාමේන පුරිස විරියේන පුරිසපරක්කමේන පත්තබ්බං න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී” ති තස්ස මය්හං භික්ඛවේ, අප්පමාදාධිගතෝ බෝධි. අප්ප මදාධිගතෝ අනුත්තරෝ යෝගක්ඛෙමෝ.
තුම්හේ චේ පි භික්ඛවේ, අප්පටිවානං පදහෙය්‍යාථ “කාමං තචෝ නහරූ ච අට්ඨි ච අවසිස්සතු සරීරේ, උපසුස්සතු මංසලෝහිතං යං තං පුරිසථාමේන පුරිසවිරියේන පුරිසපරක්කමේන පත්තබ්බං න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී” ති. තුම්හේ පි භික්ඛවෙ, න චිරස්සේව යස්සත්ථාය කුල පුත්තා සම්මදේව ආගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසානං දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථ. තස්මාතිහ භික්ඛවෙ, ඒවං සික්ඛිතබ්බං අප්පටිවානං පදහිස්සාම කාමං තචෝ ච නහරූ ච අට්ඨි ච අවසිස්සතු සරීරේ, උපසුස්සතු මංසලෝහිතං යන්තං පුරිසථාමේන පුරිසවිරියෙන පුරිස පරක්කමේන පත්තබ්බං න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී” ති. ඒවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බන්ති”
(අංගුත්තර දුක නිපාත)
තේරුම :-
“මහණෙනි, ශරීරයෙහි සමත් නහරත් ඇටත් ඉතිරි වතොත් ඉතිරි වේවා, ලේ මස් වියළී යතොත් වියළී යේවා, පුරුෂ බලයෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතු ද එයට නො පැමිණ වීර්‍ය්‍යයා ගේ නැවැත්ම නොවන්නේ ය” යි පසු බැසීමක් නැති ව මම වීර්ය්‍ය කෙළෙමි. මහණෙනි, එසේ වීර්ය්‍ය කළා වූ මම ඒ අප්‍රමාද ප්‍රතිපදාවෙන් බෝධිය (සතර මාර්ග ඥානය හා සර්වඥතා ඥානය) අධිගමනය කෙළෙමි. අර්හත්ඵලය හා නිර්වාණය ලැබුවෙමි.
මහණෙනි, තොපි ද ශරීරයේ සමත් නහරත් ඇටත් ඉතිරි වතොත් ඉතිරි වේවා, ලේ මස් වියළී යතොත් වියළී යේවා, පුරුෂ බලයෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතු ද එයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ නැවැත්වීමක් නොවන්නේ යයි නො නවත්වා වීර්‍ය්‍ය කරව්. මහණෙනි, එසේ කිරීමෙන් තොපි ද යමක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙයින් නික්ම පැවිදි වෙත් ද ඒ අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍ය පරියෝසානය වූ අර්හත්වයට ඉහාත්මයෙහි ම පැමිණෙන්නාහු ය. මහණෙනි, එබැවින් තෙපි ශරීරයෙහි සමත් නහරත් ඇටත් ඉතිරි වතොත් ඉතිරි වේවා, මස් ලේ වියළී යතොත් වියළී යේවා පුරුෂ බලයෙන් පුරුෂවීර්ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතු ද එයට නො පැමිණ වීර්ය්‍යයාගේ නැවැත්ම නො වන්නේ යයි නො නවත්වා ම වීර්ය්‍ය කරන්නෙමු යි නො නවත්වා ම වීර්ය්‍ය කරව්. මහණෙනි, තොප විසින් එසේ හික්මිය යුතුය.”
ලෝකයෙහි මනුෂ්‍යයෝ නොයෙක් අර්ථයන් බලාපොරොත්තු වෙමින් වීර්ය්‍යය කරති. වෙහෙසෙති. ධනය වියදම් කෙඓති. ඒවායින් බලාපොරොත්තු වූ දෙය සමහර විටෙක සිදුවෙයි. සමහර විටෙක වියදමත් මහන්සියත් ගත් වීර්ය්‍යයත් නිෂ්ඵල වෙයි. බුදුසස්නෙහි පිළිවෙත් පුරනු සඳහා කරන වීර්ය්‍යය කිසි කලෙක ව්‍යර්ථ නොවේ. එහි ඵලය කවදා හෝ නො වරදවා ම ලැබෙන්නේ ය. තථාගතයන් වහන්සේ පිළිවෙත් පිරීමට මෙතරම් දෘඪ වීර්යයක් කරන්නට අනුශාසනා කරන්නේ ඒ නිසා ය. මේ ශාසනය ඒකාන්තයෙන් ම නෛර්‍ය්‍යාණික ය. අනෛර්‍ය්‍යානික ශාසනවල කරන වීර්ය්‍ය නම් නිෂ්ඵල වේ. එබැවින් ඒ ශාසනවල නම් කුසීත ව විසීම වාසියකි. එබැවින්:
“දුරක්ඛාතේ භික්ඛවේ. ධම්මවිනයේ යෝ කුසීතෝ සෝ සුඛං විහරති. තං කිස්ස හේතු? දුරක්ඛාතත්තා භික්ඛවේ. ධම්මස්ස.”
යනු වදාළ සේක. මේ ශාසනය නෛර්‍ය්‍යාණික බැවින් මෙහි අලස ව විසීම පාඩුවකි. අවාසියකි.
එබැවින්:-
“ස්වාක්ඛාතෝ භික්ඛවේ, ධම්මවිනයේ යෝ ආරද්ධවිරියෝ සෝ සුඛං විහරති. තං කිස්ස හේතු? ස්වාක්ඛාතත්තා භික්ඛවේ, ධම්මස්ස.”
යනු වදාළ සේක.
“යෝ ච වස්සසතං ජීවේ කුසීතෝ හීනවීරියෝ.
ඒකාහං ජීවිතං සෙය්‍යෝ විරියමාරහතෝ දළ්හං”
(ධම්මපද සහස්ස වග්ග)
තේරුම:
යම්කිසිවෙක් වීර්යයෙන් තොර ව අලස ව කාමා දිය ගැන සිතමින් සියවසක් ජීවත් වේ ද ඒ ජීවත්වීමට වඩා බුදුසස්නෙහි ශීල සමාධි ප්‍රඥාවෙන් සම්පූර්ණ කිරීම පිණිස දැඩි කොට වීර්ය්‍යය කරන්නහුගේ එක් දිනක් ජීවත් වීම උතුමි.
“ආරහථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනේ
ධුනාථ මච්චුනෝ සේනං නළාගාරං ව කුඤ්ජරෝ.
යෝ ඉමස්මිං ධම්මවිනයේ අප්පමත්තෝ විහෙස්සති.
පහාය ජාතිසංසාරං දුක්ඛස්සන්තං කරිස්සති.
(බ්‍රහ්ම සංයුත්ත)
තේරුම:
වීර්ය්‍ය කරව්. බුද්ධශාසනයෙහි ප්‍රතිපත්තියෙහි යෙදෙව්. බටදඬුවෙන් කළ ගෙයක් ඇතකු පොඩි කර දමන්නාක් මෙන් මාර සේනාව පාගා දමව්. යමෙක් මේ ධර්මවිනයෙහි අප්‍රමාදව වෙසේ නම් හෙතෙමේ ජාති දුඃඛයත් සංසාර දුඃඛයත් දුරු කොට දුක් කෙළවර කරන්නේ ය.
මෙහි මාරසේනාව යයි කියනුයේ කෙලෙසුන්ට ය. කෙලෙස් පාගා පොඩි කර දැමීම ය යි කියනුයේ සිල් පිරීමෙන් ද භාවනාවෙහි යෙදීමෙන් ද ඒ කෙලෙස් තුනී කිරීම හා නැති කිරීම ය.
මේ බුදුසස්නෙහි පෙර විසූ සුප්‍රසිද්ධ මහතෙරුන් වහන්සේලා අනලස ව විසූ සැටි මේ පාඨයෙන් දත යුතු.
“සාරිපුත්තත්ථෙරෝ කිර තිංසවස්සානි මඤ්චේ පිට්ඨිං න පසාරේසි. තථා මහාමොග්ගල්ලානත්ථෙරෝ. මහාකස්සපත්ථෙරො ච වීසං වස්සසතං *[2]මඤ්චෙ පිට්ඨිං න පසාරේසි. අනුරුඬත්ථෙරෝ පඤ්ච පණ්ණාස වස්සානි, භද්දියත්ථෙරෝ තිංස වස්සානි, සොණත්ථෙරෝ අට්ඨාරසවස්සානි, රට්ඨපාලත්ථෙරෝ ද්වාදස, ආනන්දත්ථෙරෝ පණ්ණ රස, රාහුලත්ථෙරො ද්වාදස. බක්කුලත්ථෙරෝ අසීති වස්සානි. නාලකත්ථෙරෝ යාව පරිනිබ්බානා මඤ්චේ පිට්ඨිං න පසාරේසි.
(සක්ක පඤ්හ සුත්ත වණ්ණනා)
මහාසීව තෙරුන් වහන්සේ මහා ධර්මධරයෙකි. උන්වහන්සේ ගෙන් ධර්මය උගෙන අවවාදානුශාසනා ලබා රහත් වූ භික්ෂූහු ම තිස් දහසක් පමණ වූහ. එක් දිනක ඒ රහතුන් අතුරෙන් එක් නමක් තමාගේ ආචාර්යයන් වහන්සේගේ තතු කෙසේ දැ යි විමසී ය. ආචාර්ය්‍යයන් වහන්සේ තවමත් පෘථග්ජන බව දුටු ගෝල රහත් නම ආචාර්ය්‍යයන් වහන්සේට පිහිට වන්නට සිතා අහසින් ගොස් විහාර සමීපයේ බැස මහාසීව තෙරුන් වහන්සේ වෙත ගොස් වැඳ එකත් පසෙක සිටියේය. “කුමක් නිසා පැමිණියෙහිදැ” යි මහාසීව තෙරුන් වහන්සේ විසින් විචාල කල්හි එක් අනුමෝදනා බණක් ඉගෙන ගන්නට ආමි’යි ගෝල රහත් නම කීය. මහාසීව තෙරුන් වහන්සේ “ඇවැත්නි, එය කරන්නට කාලයක් නැතය” යි කීහ. ගෝල නම දවසේ සියලු ම කාලයන් ගැන වෙන වෙන ම විචාළේ ය. සැම වේලාවේ ම ඉගෙන ගන්නා අය ඇති බැවින් අනවකාශ බව කීහ. එකල්හි රහත් නම “ස්වාමීනි, යෝනිසෝමනස්කාරයෙන් වැඩ කිරීමට කාලයක් කාටත් තිබිය යුතු ය. නුඹ වහන්සේට මැරෙන්නටවත් කාලයක් ඇත්තේ ද? නුඹ වහන්සේගේ අනුමෝදනාවෙන් කම් නැත” යි කියා අහසට නැඟ ගියේ ය.
අතවැසි නම එසේ කියා ගිය පසු මහාසීව තෙරුන් වහන්සේ සිතන්නාහු “මේ ඇවිත් ගිය නම උගෙනීමකින් වුවමනාවක් ඇතියෙක් නොවේ. ඒකාන්තයෙන් ම ඒ නම පැමිණෙන්නට ඇත්තේ මට පිහිටවීම පිණිස විය යුතු ය. මා ද ඒ නම සේ රහත් විය යුතු ය. මට දැන් ම ඒ සඳහා පිටත් වන්නට අවකාශයෙක් නැත. දවාලෙහි හා රාත්‍රියේ ප්‍රථම මධ්‍යම යාම දෙක්හිත් භික්ෂූන්ට උගන්වා මම පශ්චිම යාමයෙහි යම්කිසි විවේකස්ථානයක් ලබා පිටත් වෙමි.” යි සිතා පා සිවුරු ද ළඟ ම තබාගෙන සිට එදින පශ්චිම යාමයෙහි උගෙන ගිය භික්ෂුවක් සමග ම කාහටවත් නො දන්වා පිටත් වූහ. උගෙන ගෙන ගිය භික්ෂුනම ද මහාසීව තෙරුන් වහන්සේ නො හැඳින ගත්තේ ය. සමීපයේ සිටි අතවැසියෝ ද ආචාර්ය්‍යයන් වහන්සේ යම්කිසි කටයුත්තක් සඳහා පිටත යන්නාහ යි සිතා ගත්හ. උන් වහන්සේ අතවැසියන්ට නොදන්වා ම එසේ පිටත් වූයේ තමන්ට දෙතුන් දිනකින් රහත් ව ආපසු පැමිණිය හැකි වෙතියි සිතා ය.
උන්වහන්සේ ගියේ ඇසළමස පුර තෙළෙස්වක දිනක ය. උන්වහන්සේ ගාමන්තර පබ්භාර නම් තැනට ගොස් සක්මන් මලුවට ගොඩ වී භාවනා කරමින් සක්මනට පටන් ගත්හ. එහෙත් එදින රහත් නොවූහ. දෙවන තුන්වන දිනවල දී ද රහත් නොවූහ. සතරවන දිනය පෙරවස් එළෙඹෙන දිනය ය. රහත් නොවිය හැකි වූයෙන් උන්වහන්සේ එහි ම වස් විසූහ. එහි වෙසෙමින් පවාරණ දිනය තෙක් මහෝත්සාහයෙන් භාවනා කළහ. කිසි විශේෂයක් නොවීය. මම දෙතුන් දිනකින් රහත් වන්නට සිතා ආමි. එහෙත් තෙමසකින් ද රහත් නොවිය හැකි වීමි. මාගේ බොහෝ සබ්‍රහ්මචාරීහු අද රහත් ව විශුද්ධිපවාරණය කරන්නාහ යි සිතන කල්හි උන්වහන්සේගේ නෙත්වලින් කඳුළු වැගිරෙන්නට විය.
ඉක්බිති මහාසීව තෙරුන් වහන්සේ සිතන්නාහු මට සතර ඉරියව්වෙන් කල් ගෙවා රහත් නොවිය හැකි ය. අද පටන් මම නින්ද හැර අනික් තුන් ඉරියව්වෙන් පමණක් වෙසෙමින් භාවනා කරමිය, අර්හත්වයට නො පැමිණ ඇඳක පිට නොතබමිය, පාද නො සෝදමි ය” යි දැඩි කොට ඉටා, ඇඳ කෙළින් කොට තබා තුන් ඉරියව්වෙන් වෙසෙමින් මහණදම් පුරන්නට පටන් ගත්හ. එහෙත් උන්වහන්සේට රහත් නොවිය හැකි විය. දෙවන වස පවාරණ දිනයෙහි ද උන් වහන්සේගේ නෙත් වලින් කඳුළු වැගිරිණ. එයින් උන්වහන්සේ පසුබට නො වූහ. වීර්ය්‍ය නො හළහ. උන්වහන්සේ එකුන්තිස් වසක් ම එසේ නො නිදා උත්සාහ කළහ. පා නොසෝදා බෝකල් ගත වීමෙන් උන්වහන්සේගේ පා පුපුරන්නට විය. සමහර අවස්ථාවලදී එහි පැමිණි ගම් දරුවෝ උන්වහන්සේගේ පාවල පැළුම් කටුවලින් මැසූහ. ගම් දරුවෝ විනෝදය පිණිස නුඹේ පා මහාසීව හාමුදුරුවන්ගේ මෙන් පැළේවායි ඔවුනොවුන්ට කියා ගන්නට වූහ. තිස්වන වසරේ පවාරණ දිනයෙහි මම දැන් තිස් වසක් වීර්ය්‍යය කෙළෙමි. එහෙත් රහත් නුවූයෙමි. මේ ජාතියේ නම් මට සබ්‍රහ්මචාරීන් හා විශුද්ධිපාවාරණය කරන්නට ලැබෙන්නේ නැතය” යි උන්වහන්සේට සිතිණි. එයින් බලවත් දොම්නසක් ඇති වී කඳුළු ගලන්නට විය. එකල්හි උන්වහන්සේට නුදුරු තැනක සිටි දෙව්දුවක් ද හඬන්නට වූවාය. එකල්හි තෙරුන් වහන්සේ “මෙහි හඬන්නේ කවුදැ”යි ඇසූහ. “ස්වාමීනි, මම දෙව්දුවක් මි”යි ඕ පිළිතුරු දුන්නා ය. “කුමට හඬන්නී දැ”යි ඇසූ කල්හි හඬා මඟ පල ලැබිය හැකි නම් මා ද එයින් එකක් දෙකක් ලබා ගැනීමට යයි කීවා ය.
එකල්හි තෙරුන් වහන්සේ “මහාසීවය, නුඹට දෙවියෝ ද විහිළු කරන්නාහ, පසුබට වීම නුඹට නුසුදුසු ය” යි තමන්ට අවවාද කරගෙන වීර්ය්‍යය අඩු නොකොට ඉදිරියටත් භාවනාවෙහි යෙදුණාහ. උන්වහන්සේගේ වීර්ය්‍යය හිස් නො වීය. තිස් වසරක් නො නවත්වා කළ ඒ මහා වීර්ය්‍යයෙන් උන්වහන්සේ අර්හත්වයට පැමිණියහ. අර්හත්වයට පැමිණියා වූ මහාසීව තෙරුන් වහන්සේ පා සෝදන්නට වාඩි වූ කල්හි පා සෝදා දීම සඳහා උන්වහන්සේගේ අතවැසි තිස් දහසක් රහත්හු පැමිණියෝ ය. සක්දෙව් රජ ද පැමිණියේ ය. මේ නෛර්‍ය්‍යාණික සර්වඥ ශාසනයෙහි කෙතරම් දීර්ඝ කාලයක් වුවත් උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවක් නො වන බව, මේ කථාව අනුව තේරුම් ගනිත්වා! මහාසීව තෙරුන් වහන්සේගේ චරිතය ද ආදර්ශයට ගනිත්වා!!
තමන් ද කිසි වැඩෙක නො යෙදී අලසකමින් කාලක්ෂේපය කරමින් යම්කිසි වැඩක යෙදෙන අය ඉන්නා තැන්වලට ගොස් ඔවුන් හා පලක් නැති තිරශ්චීන කථා කරමින් අනුන්ගේ වැඩ ද පාළු කරන පුද්ලයන් කොටසක් ගිහි පැවිදි දෙපක්ෂයේ ම ඇත්තාහ. වැඩ කැමති පැවිද්දන් ඔවුන් හා ආශ්‍රයෙන් ද වැළකිය යුතු ය.
“පරිත්තං දාරුමාරුය්හ යථා සීදේ මහණ්ණවේ,
ඒවං කසීතමාගම්ම සාධුජීවීපි සීදති,
තස්මා තං පරිවජ්ජෙය්‍ය කුසීතං හීනවීරියං.
පවිවිත්තේහි අරියේහි පහිතත්තේහි ඣායිහි,
නිච්චං ආරද්ධවිරියේහි පණ්ඩිතේහි සහාවසේ.”
(සෝමමිත්ත ථෙර ගාථා)
තේරුම:
“කුඩා ලී කැබෙල්ලකට නැඟි තැනැත්තා යම් සේ මහසයුරෙහි ගිලේ ද එමෙන් කුසීත පුද්ගලයා නිසා ඔහු ඇසුරු කරන හොඳින් ජීවත්වන තැනැත්තා ද සසර සයුරෙහි ගිලේ. එබැවින් වීර්‍ය්‍ය නැති කුසීත පුද්ගලයා වර්ජනය කරන්නේ ය.
විවේකය භජනය කරන්නා වූ නිවනට හෝ භාවනාවට යොමු කළ සිත් ඇත්තා වූ භාවනා කරන්නා වූ නිතර ම වීර්‍ය්‍ය කරන්නා වූ පණ්ඩිත වූ ආර්‍ය්‍යයන් හා එක්ව වාසය කරන්නේ ය.”
වතක් පිළිවෙතක් හෝ උගෙනීමක් පොතපත කියවීමක් භාවනාවක් හෝ කරමින් කාලය අපතේ නො යවන පුද්ගලයන්, විනෝදය පිණිස තිරශ්චීන කථාවලට අල්ලා ගන්නට එන අය මිත්‍රරූපයෙන් එන සතුරන් බව තේරුම් ගෙන ඔවුන්ගෙන් පරෙස්සම් වෙත්වා!
අලසයන් විසින් නිකරුණේ කාලක්ෂේපය කිරීමට හෝතු යුක්ති වශයෙන් ඉදිරිපත් කර ගන්නා කරුණු අටක් ඇත්තේ ය. “අට්ඨිමානි භික්ඛවේ, කුසීතවත්ථූනි” යනාදීන් ඒ අට අංගුත්තර නිකාය අට්ඨකනිපාතයෙහි වදාරා තිබේ.
කුසීත වස්තු වශයෙන් ඉහත දක්වන ලද කරුණු අට සැදැහැවත් වීර්ය්‍යවත් පැවිද්දාහට වඩාත් උත්සාහයෙන් ශ්‍රමණධර්මයෙහි යෙදීමට කරුණු වෙයි. එබැවින් අංගුත්තර නිකාය අට්ඨක නිපාතයෙහි “අට්ඨිමානි භික්ඛවේ, ආරම්භවත්ථූනි” යනාදීන් ඒ කරුණු අට ආරම්භ වස්තු හෙවත් වීර්ය්‍ය කිරීමේ කරුණු වශයෙන් වදාරා තිබේ. ඒ ඒ පුද්ගලයන්ගේ අදහස් අනුව එක ම කරුණු අට කුසීත වස්තු ද ආරම්භ වස්තු ද වී ඇත්තේ ය.
ආරම්භ වස්තු අට මෙසේ ය:-
බුදුරජාණන් වහන්සේ බුදුබවට පැමිණ තමන් වහන්සේගේ ජන්මභූමිය වන කපිලවස්තු පුරයට පළමු වර වැඩ වදාළ අවස්ථාවෙහිදී ශාක්‍යයන්ගේ මානය බිඳිනු පිණිස අහසෙහි රුවන් සක්මනක් මවා එහි සිට දහම් දෙසූ සේක. දහම් අසා තථාගතයන් වහන්සේට වැඳ ඔවුන් ගිය නමුත් පසු දින දානයට කිසිවෙක් ආරාධනා නො කළහ. සුදොවුන් මහරජතුමා, “තථාගතයන් වහන්සේ පසුදින තමා ගේ නිවසට වැඩම කරනු ඇතය” යි සිතා. තථාගතයන් වහන්සේ ඇතුළු විසිදහසක් භික්ෂූන්ට දන් පිළියෙළ කරවූයේ ය. දෙවන දිනයේ තථාගතයන් වහන්සේ පිඬු පිණිස කිඹුල්වත් පුරයට ඇතුළු වන්නාහු, ‘අතීත බුදුවරයන් වහන්සේලා පියාගේ නගරයට පිවිසි කල්හි කෙළින් ම නෑ ගෙදරට ම වැඩියාහු ද? ගෙපිළිවෙළින් පිඬු සිඟා වැඩියාහු දැ’ යි බලන සේක්; ගෙපිළිවෙලින් පිඬු සිඟා වැඩිය බව දැක, තමන් වහන්සේ ද අතීත බුදුවරයන් ගේ සිරිත අනුව කිඹුල්වත් පුරයට පිවිස ගෙපිළිවෙලින් පිඬු සිඟා වැඩි සේක. යසෝදරා දේවිය තථාගතයන් වහන්සේ පිඬු සිඟා වඩිනු දැක වහා ම එපුවත රජුට කියා යැවුවා ය. රජු මේ කුමන නින්දාවක් ද, මට මේ පිරිසට දානයක් දීගන්නට බැරිදැ” යි කලබල වී, වහා බුදුන් වහන්සේ වෙත ගොස් “ඔබ මේ නුවර පිඬු සිඟමින් මට මහ නින්දාවක් කරන්නාහුය, පෙර මේ නගරයෙහි ස්වර්ණ සිවිකාදියෙන් මහා සම්පත්තියෙන් ගමන් කොට අද මෙසේ ගෙදොරක් පාසා පිඬු සිඟා ඇවිදීම කෙතරම් නින්දාවක්දැ”යි කීය. එකල්හි තථාගතයන් වහන්සේ “මහරජ, මම ඔබට නින්දා නො කරමි, මා මේ කරන්නේ මාගේ කුලපරම්පරාවේ සිරිතය” යි වදාළහ. එකල්හි රජතුමා “දරුව, මගේ වංශය මෙසේ සිඟා ජීවත්වන වංශයක් දැ”යි ඇසීය. තථාගතයන් වහන්සේ “මහරජ, මේ පිඬු සිඟා යෑම, ඔබගේ වංශය නොව, මාගේ වංශය ය. අතීතයේ නොයෙක් දහස් ගණන් බුදුවරයෝ පිඬු පිණිස හැසිර ජීවත්වූහ” යි වදාරා මෙසේ වදාළ සේක.
“උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය ධම්මං සුචරිතං චරේ,
ධම්මචාරී සුඛං සේති අස්මිං ලෝකේ පරම්හි ච.
ධම්මං චරේ සුචරිතං න නං දුච්චරිතං චරේ,
ධම්මචාරී සුඛං සේති අස්මිං ලෝකේ පරම්හි ච.”
(ධම්මපද ලෝකවග්ග)
තේරුම :-
“පිඬු සිඟා යෑම හැර ප්‍රණීත භෝජන සොයමින් පිණ්ඩපාත වත අමතක නොකළ යුතු ය. නො මනා ලෙස ආහාර සෙවීම හැර පිඬු සිඟා ගැනීම වූ සුචරිතයෙහි හැසිරිය යුතු ය. එසේ ධර්මයෙහි හැසිරෙන පැවිද්දා මෙලොව පරලොව දෙක්හි ම සුව සේ වෙසෙන්නේ ය.”
ගණිකා නිවාසාදි නුසුදුසු තැන්වල පිඬු පිණිස නො හැසිර පිණ්ඩපාත වත මැනවින් පිරිය යුතු ය. එය නො මනා පරිදි නො කළ යුතු ය. පිණ්ඩචාරිකාව නමැති ධර්මයෙහි හැසිරෙන පැවිද්දා මෙලොව ද පරලොව ද සුවසේ වෙසෙන්නේ ය.”
ඒ දේශනාව අසා සුදොවුන් රජතුමා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ලොවුතුරා බුදුවරයන් වහන්සේලා ගේ පිළිවෙත වන පිඬු සිඟා ජීවත් වීම බුද්ධපුත්‍ර වූ පැවිද්දන්ට උරුම ය. පිණ්ඩපාතයෙන් ජීවත් වීමේ අනුසස් බොහෝ ය. ගිහියන් විහාරයට ගෙනැවිත් දෙන ආහාරයෙන් ජීවත් වන පැවිද්දාට ඒ බත් ටික නිසා නිතර ම ගිහියන් කියන පරිදි ඔවුනට යටත් ව වාසය කරන්නට සිදුවේ. ඔවුන් කියන දෙය යුක්තිය වුවත් අයුක්තිය වුවත් ඔවුන්ගේ දානය බලන පැවිද්දාට පිළිගන්නට සිදු වේ. ඔවුන් කියන නො මනා දේ පවා කරන්නට සිදු වේ. එසේ නොකළ හොත් ඒ භෝජනය නො ලැබී යන්නේ ය. එපමණක් නොව ඔවුහු “අපෙන් ජීවත් වන්නෝ ය” කියා පැවිද්දන් පහත් කොට ද සිතති. පිණ්ඩපාතයෙන් ජීවත්වන තැනැත්තා හට ආහාරය නිසා ගිහියන්ට යටත් වන්නට සිදු නොවේ. පිණ්ඩපාතයෙන් ජීවත් වන පැවිද්දාට ආහාරය ලැබීමට නියමිත තැනක් නැත. එක් ගෙයකින් නො ලැබෙතොත් අනික් ගෙයකට යා හැකි ය. එක් ගමකින් නො ලැබෙතොත් අනික් ගමකට යා හැකි ය. ඒ නිසා පිණ්ඩපාතික භික්ෂුවට ගිහියන්ට යටත් නොවී ආත්ම ගෞරවය රැක ගෙන විසිය හැකි ය. පිණ්ඩපාතය දුන් ගිහියෝ ඒ නිසා පැවිද්දා කෙරෙහි බල පවත්වන්නට ද නො එති.
කොතරම් දිළිඳු ගෙයක වුවද වේලක් ඇර වේලක් වත් ආහාර පිසීම කරති. පිඬු සිඟා පැමිණි පැවිද්දකුට එයින් බත් සැන්දක් දීමෙන් ඔවුන්ට පාඩුවක් ද නො දැනේ. එබැවින් අන් පිනක් කර ගත නො හෙන බොහෝ දෙනාට පිඬු සිඟා යන පැවිද්දන් නිසා පින් සිදු කර ගත හැකිය. පිඬු පිණිස යන පැවිද්දන් හට තමන්ට පිසූ බත් සැළියෙන් බත් සැන්දක් දීමේ කුශලයෙන් දෙව්ලොව උපන්නෝ බොහෝ ය. එබැවින් පිඬු පිණිස ගම්වල හැසිරීම මහජනයාට මහත් යහපතක් සිදු කිරීමකි. බුද්ධාදී මහෝත්තමයන් පිඬු සිඟා වැඩියේ ජීවත්වීමේ ක්‍රමයක් නැති නිසා නොව පරානුග්‍රහය පිණිස ය. උන් වහන්සේලා අනුව යම් පැවිද්දෙක් “බොහෝ ජනයා පින් සිදු කර ගෙන සගමොක් සැප ලබත්වා, දුකින් මිදෙත්වා” යන මෛත්‍රී අධ්‍යාශය - කරුණාධ්‍යාශය පෙර දැරි කර ගෙන පිඬු සිඟා යන්නේ නම්, ඒ පැවිද්දාට එයින් සිදුවන්නේ පියවරක් පාසා පින් ය. මහන්සි වී පිඬු සිඟා ගෙන ආ පැවිද්දාට එයින් කොටසක් බුද්ධපූජා කිරීමෙන් ද, තවත් පැවිද්දන් ඇති නම් ඔවුනට දීමෙන් ද, බොහෝ පින් සිදු කර ගත හැකි ය. දුගියකුට මගියකුට - තිරිසන් සතකුට ඒවායින් දීමෙන් ද බොහෝ පින් සිදු කර ගත හැකිය. බොහෝ පින් සිදු කර ගත හැකි උසස් පැවිදි ජීවිතයක් පැවැත්වීමට හේතු වන පිණ්ඩපාතයෙන් ජීවත් වීම පහත් දෙයකැ යි නො සිතිය යුතු ය. මහබෝසත් මහාජනක රජතුමා රජ ව සිට ම මෙසේ කල්පනා කළේ ය.
“කදා පත්තං ගහෙත්වාන මුණ්ඩෝ සංඝාටිපාරුතෝ
පිණ්ඩිකාය චරිස්සාමි තං කුදාස්සු භවිස්සති.
කදා සත්තාහ සම්මේඝෙ ඔවට්ටෝ අල්ලචීවරෝ
පිණ්ඩිකාය චරිස්සාමි තං කුදාස්සු භවිස්සති.”
(මහාජනක ජාතක)
තේරුම :-
“මම මුඩු කළ හිස ඇති ව සඟළ සිවුරු පොරවන ලදු ව පාත්‍රය ගෙන කවදා පිඬු සිඟා යම් ද? එය මට කවදා සිදුවන්නේ ද?
මම සත් දිනක් මුළුල්ලෙහි වස්නා මහ වැස්සෙහි තෙමුණු සිවුරු ඇති ව කවදා පිඬු සිඟා ඇවිදින්නෙම් ද? එය මට කවදා සිදු වන්නේ ද?”
රජුන් පවා මෙසේ පිඬු සිඟා යෑම පැතුයේ එහි බොහෝ ගුණ ඇති නිසා ය. එහි අනුසස් විසුද්ධිමග්ගයෙහි ද මෙසේ දක්වා තිබේ.
“පිණ්ඩියාලෝපසන්තුට්ඨෝ අපරායත්තජීවිකෝ,
පහීණාහාරලෝලුප්පෝ හෝති චාතුද්දිසෝ යති.
-
“විනෝදයති කෝසජ්ජං ආජීවස්ස විසුජ්ඣති,
තස්මාහි නාතිමඤ්ඤෙය්‍ය භික්ඛාචරිය සුමේධසෝ.”
තේරුම:
“පිණ්ඩපාත භෝජනයෙන් සතුටු වන්නා වූ අනුන් අයත් නොවන දිවි පෙවෙතක් ඇත්තා වූ ආහාර තණ්හාව දුරු කළා වූ පැවිදි තෙමේ කා කෙරෙහිවත් බැඳීමක් නැති බැවින් පැකිළීමක් නැති ව සතර දිශාවෙහි හැසිරෙන්නේ වේ.
පිණ්ඩපාතයෙන් ජීවත් වන පැවිද්දා හට අලස බව ද දුරු වේ. ආජීවය ද පිරිසිදු වේ. එබැවින් නුවණැත්තේ, පිණ්ඩපාතික වත පහත් කොට නො සිතන්නේ ය.”
“නව හි භික්ඛවේ, අංගේහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං.”
කතමේහි නවහි?
න මනාපේන පච්චුට්ඨෙන්ති, න මනාපේන අභිවාදෙන්ති, න මනාපේන ආසනං දෙන්ති, සන්තමස්ස නිගූහන්ති, බහුකම්පි ථෝකං දෙන්ති, පණීතම්පි ලූඛං දෙන්ති, අසක්කච්චං දෙන්ති නෝ සක්කච්චං, න උපනිසීදන්ති ධම්මසවණාය, භාසිතස්ස න රසී යන්ති. ඉමේහි ඛෝ භික්ඛවේ, නවහි අංගේහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං.”
(අංගුත්තර නවක නිපාත)
තේරුම :-
“මහණෙනි, මේ අංග නවයෙන් යුක්ත වන කුලයට නො ගියේ නම් යෑමට නුසුදුසු ය. ගියේ නම් වැද හිඳ ගැනීමට නුසුදුසු ය. කවර අංග නවයකින් ද යත්? පැවිද්දකු ගිය කල්හි කැමැත්තෙන් හුනස්නෙන් නො නැගිටිත් ද, කැමැත්තෙන් නො වඳිත් ද, කැමැත්තෙන් හිඳීමට අසුනක් නො දෙත් ද, පැවිද්දාහට ඇති දෙය සඟවා ද, බොහෝ තිබිය දී බළලකුට කපුටකුට දෙන්නාක් මෙන් ස්වල්පයක් දෙත් ද, ප්‍රණීත දෑ තිබිය දී රූක්ෂ දෙයක් දෙත් ද, දෙන දෙය නො මනා ලෙස අනාදරයෙන් අගෞරවයෙන් දෙත් ද, දහම් ඇසීමට එළඹ නො හිඳිත් ද, දහම් දෙසූ කල්හි සතුටු නො වෙත් ද, මහණෙනි, මේ අංග නවයෙන් යුක්ත කුලයට නොගියේ නම් යෑම නුසුදුසු ය. ගියේ නම් වැද හිඳගැනීමට නුසුදුසු ය.
“අස්සද්ධේසු මිච්ඡාදිට්ඨිකුලේසු සක්කච්චං පණීතභෝජනං ලභිත්වා අනුපපරික්ඛිත්වා නේව අත්තනා භුඤ්ජිතබ්බං. න පරේසං දාතබ්බං. විස මිස්සම්පි හි කත්වා තානි කුලානි පිණ්ඩපාතං දෙන්ති, යම්පි ආභිදෝසිකං භත්තං වා ඛජ්ජකං වා තතෝ ලභති තම්පි න පරිභුඤ්ජිතබ්බං. අපිහිත වත්ථුම්හි සප්පවිච්ඡකාදි අධිසයිතං ඡඩ්ඩනීයධම්මං තානි කුලානි දෙන්ති. ගන්ධහලිද්දාදි මක්ඛිතෝපි තතෝ පිණ්ඩපාතෝ න ගහේතබ්බෝ සරීරේ රෝගට්ඨානානි පුඤ්ජිත්වා ඨපිත භත්තම්පිහි තානි දාතබ්බං මඤ්ඤන්ති”
(පාලිමුත්තක විනය විනිච්ඡය 389)
තේරුම :
ශ්‍රද්ධාව නැති මිසදිටු ගෙවලින් ප්‍රණීත භෝජන ලැබ, නො පිරික්සා තමා විසින් නො වැළඳිය යුතු ය. අනුන්ට ද නො දිය යුතු ය. ඒ ගෙවල අය සමහරවිට විෂමිශ්‍ර භෝජන ද දෙති. ඒ තැන්වලින් රැයක් ඉක්ම යෑමෙන් සිසිල් වූ බත් හෝ කැවිලි ලද හොත් එද නො වැළඳිය යුතු ය. ඒ අය සමහර විට නො වසා තැබීමෙන් පත්තෑ ගෝණුසු ආදි විෂ සතුන් වැටී සිටීමෙන් අහක දැමිය යුතු ආහාර දෙති. සුවඳ වර්ග හා කහ තැවරී ඇති ආහාරයක් ඒ තැනකින් දුන හොත් නො පිළිගත යුතු ය. ඔවුහු සමහර විට ශරීරයේ රෝගස්ථාන පිස ඇති බත් පැවිද්දන් හට දෙන්නට සිතති.
“අඤ්ඤා හි ලාභූපනිසා අඤ්ඤා නිබ්බානගාමිනී,
ඒවමේතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස සාවකෝ,
සක්කාරං නාභිනන්දෙය්‍ය විවේක මනුබ්‍රෑහයේ”
(ධම්මපද බාලවග්ග)
තේරුම :
“ලාභ සෙවීමේ මඟ අනිකකි. නිවන් මඟ අනිකකි. බුද්ධ ශ්‍රාවක වූ භික්ෂු තෙම මේ දෙමඟ වෙන වෙන ම දැන ලාභසත්කාර නොපත්නේ ය. විවේකය සොයන්නේ ය.”
ඇතැමුන්ට පෙර පින් බලයෙන් නිරුත්සාහයෙන් ම බොහෝ ලාභසත්කාර ලැබේ. එසේ දැහැමින් ලැබෙන දේ පිළිගැනීම වරද නැත. එහෙත් ඒවාට ගිජු නොවිය යුතු ය. ඒවා නිසා උඩඟු නොවිය යුතු ය. මත් නො විය යුතු ය. පෙර පින් මඳ අයට ලාභ සත්කාර අඩු ය. ඒ අය තමාට ලැබෙන තරමින් සතුටු විය යුතු ය. තමාට කර්මානුරූප ව දැහැමින් ලැබෙන පමණින් සතුටට පත් නො වී අතිරේක වශයෙන් ලාභ උපදවන්නට යත හොත් ඒ පැවිද්දාට කුහකම් ආදි පව්කම් ස්වල්ප වශයෙන් වුව ද කරන්නට සිදු වේ. මඳකුදු පව් කමක් නැති ව ලාභ ඉපදවීම අපහසු ය. ඇතැම්හු ලාභ ඉපදවීම සඳහා බොරු කීම් ආදි බරපතල පව්කම් ද නො කරන්නාහු නො වෙති. ලාභ සෙවීමේ මඟට බට පැවිද්දාහට තමා ගේ මුළු කාලය ම ඒ සඳහා යොදවන්නට සිදු වේ. බුදුරජාණන් වහන්සේ ගේ අවවාදය අනුශාසනය කරන්නට කාලයක් ඔහුට නො ලැබේ. එයින් ඔහු සම්පූර්ණයෙන් ම නිවන් මඟින් බැහැර වේ. පැවිද්දේ පරමාර්ථය නිවන් සෙවීම ය. නිවන් මඟින් බැහැර ව නො මනා ලෙස දිවි පැවැත්වීම පැවිද්දාට මහත් අන්තරායයකි. බොහෝ ලාභ සත්කාර කීර්ති ඇති පැවිද්දා එයින් උසස් ය කියා හෝ ඒවා මඳ පැවිද්දා එයින් පහත් ය කියා හෝ සිතා ලාභ සත්කාර සෙවීමේ මඟට බැස තමා තමා ගේ ජීවිතය නො කිලිටි කර ගත යුතු ය. ඇතැම් පැවිද්දෝ ධනය ලැබෙන ක්‍රමයක් ඇති කර නො ගත හොත් අනාගතයේ තමන්ට ජීවත්වීම දුෂ්කර වෙතියි සිතා එයට බියෙන් මිථ්‍යා ජීවිකාවට බසිති. මිනිස් ලොව සැම දෙනා ම උපදින්නේ යම් කිසි කුශල බලයෙකිනි. ජීවත්වීමට දෙයක් ලබා දීමේ බලයකුත් ඒ කුශලයෙහි ඇත. එබැවින් ජීවත්විය නො හෙති’ යි පැවිද්දන් නො බිය විය යුතු ය. දිගු කලක් අදමින් ජීවත් වීමට වඩා දැහැමින් මිය යෑම උතුම් බව ද බුද්ධාදි උතුමන් ගේ අනුශාසනාවෙකි. නිවන් මඟ ගමන් කරන පැවිද්දාට ලාභ සත්කාර කීර්ති නම් අඩු විය හැකි ය. එහෙත් ඒ නිසා නිවන් මඟින් බැහැර වන්නට කල්පනා නො කළ යුතු ය. බොහෝ දෙනා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උසස් කොට සලකතත් ඒවා ලැබීම පැවිද්දාට නපුරක් මිස යහපතක් බව තථාගතයන් වහන්සේ වදාරා ඇත. ලාභ සත්කාර ගැන තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේ ය.
“දාරුණෝ භික්ඛවේ, ලාභසක්කාරසිලෝකෝ කටුකෝ ඵරුසෝ අන්තරායිකෝ අනුත්තරස්ස යෝගක්ඛෙමස්ස අධිගමාය. තස්මා තිහ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං “උප්පන්නං ලාභසත්කාරසිලෝකං ජහිස්සාම න වත නෝ උප්පන්නෝ ලාභසත්කාර සිලෝකෝ චිත්තං පරියාදාය ඨස්සතී” ති. ඒවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බං.”
(ලාභසක්කාර සංයුත්ත)
තේරුම :
“මහණෙනි, ලාභසත්කාර කීර්ති යන මේවා දරුණු ය. කටුක ය. රළු ය. අර්හත්වය හා නිවන ලැබීමට අන්තරායකරය. මහණෙනි, එබැවින් උපන් ලාභසත්කාර කීර්තීන් අත්හරින්නෙමු ය, උපන් ලාභ සත්කාර කීර්තිය අපගේ කුශලචිත්තය අල්ලාගෙන හෝ නැති කරමින් හෝ නො පවතීවාය කියා මෙසේ තොප විසින් හික්මිය යුතු ය.”
කලින් ඉතා හොඳින් මහණදම් පුරමින් විසූ ඇතැම් පැවිද්දන් ලාභ සත්කාර බහුලවීම නිසා තණ්හාව වැඩි වී මානය වැඩි වී හිස් පුද්ගලයන් වනු නොයෙක් විට දක්නා ලැබේ. බොහෝ ලාභ සත්කාර උපදින පැවිද්දා හට නොයෙක් විට පාපී පුද්ගලයන් ළං වී ඒ පැවිද්දා නො මඟ යවනු ද දක්නා ලැබේ. ඔවුන් නිසා ඇතැම් පැවිද්දන්ට ශ්‍රමණත්වයෙන් පහවීමට ද නොයෙක් විට සිදු වේ. ධර්මයෙන් ලැබෙන ලාභසත්කාරය වුව ද පැවිද්දාට නපුරක් බව තථාගතයන් වහන්සේ වදාළේ එහෙයිනි. ලාභසත්කාරය ගැන මෙසේ ද වදාරා ඇත්තේ ය.
“බහු සපත්තේ ලභති මුණ්ඩෝ සංඝාටිපාරුතෝ,
ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස සයනස්ස ච.
ඒතමාදීනවං ඤත්වා සක්කාරේසු මහබ්භයං
අප්පලාභෝ අනවස්සුතෝ සතෝ භික්ඛු පරිබ්බජේ.”
(තිස්සත්ථෙර ගාථා)
තේරුම :-
“හිස මුඬු කොට සිවුරු දරා සිටින ආහාරපාන වස්ත්‍ර ශයනයන් බොහෝ ලබන තැනැත්තා බොහෝ සතුරන් ද ලබයි.
ලාභසත්කාරයන්හි ඇති මේ දෝෂය, මේ මහාභය දැන භික්ෂු තෙමේ අල්පලාභී වූයේ ලාභතණ්හාව නමැති කුණුදියෙන් තෙත් නො වූයේ සිහියෙන් යුක්ත වූයේ ලෝකයෙහි හැසිරෙන්නේ ය.”
මේ ගාථාවලින් දැක්වෙන්නේ ලාභී භික්ෂුවට බොහෝ සතුරන් ඇති වන බව ය. බොහෝ ලාභ ඇති පැවිද්දන්ට දෙවර්ගයක සතුරෝ ඇති වෙති. ඔවුන් ගෙන් එක් කොටසක් නම් ඊර්‍ෂ්‍යාකාරයෝ ය. ඔවුහු ඒ ඊර්ෂ්‍යාව නිසා ලාභී පැවිද්දාහට නොයෙක් කරදර කරති. අනික් කොටස ලාභ ඇති පැවිද්දාගෙන් ප්‍රයෝජන ලබනු පිණිස මිත්‍රරූපයෙන් එන සතුරෝ ය. ඒ දෙවන කොටස වඩාත් භයානක ය. ඔවුහු ලාභ ඇති පැවිද්දා නො මඟට පොළඹවා ගෙන මහත් විපත් කෙරෙති. ඒ උවදුර නිසා මහණකම් නැති කරගන්නා පැවිද්දෝ බොහෝ ය. ලාභ අත්හැර අල්පලාභී වන්නට තිස්ස තෙරුන් වහන්සේ සබ්‍රහ්මචාරීන්ට අනුශාසනා කර ඇත්තේ ඒ උවදුරු නිසා ය.
බොහෝ ප්‍රත්‍යය ලැබෙන පැවිද්දා විසින් තණ්හාවෙන් ඒවා ගොඩ ගසා ගෙන සිට විනාශ වන්නට හරින්නේ හෝ විකුණා මුදල් රැස් කරන්නට පටන් ගන්නේ හෝ නැතිව ඒවායින් අල්පලාභී සබ්‍රහ්මචාරීණ්ට සංග්‍රහ කළ යුතු ය.
“න ච භික්ඛවේ, සද්ධාදෙය්‍යං විනිපාතේතබ්බං, යෝ විනිපාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”
(මහාවග්ග චීවරක්ඛන්ධක)
“මහණෙනි, සැදැහැවතුන් දුන් ප්‍රත්‍යය විනාශ නො කළ යුතු ය. යමෙක් ඒවා විනාශ කෙරේ නම් දුකුළා ඇවැත් වේය” යි විනය සිකපදයක් ඇති බැවින් වැඩිපුර ලැබෙන ප්‍රත්‍යය විනාශ ද නො කළ යුතු ය. නෑයන්ට දීම සද්ධාදෙය්‍ය විනිපාතනයෙකි. “අනුජානාමි භික්ඛවේ, මාතාපිතූනං දාතුං” යි වදාරා ඇති බැවින් තමාට ලැබෙන ප්‍රත්‍යය මාපියන්ට දීම වරද නැත. “සේස ඤාතීනං දෙන්තෝ විනිපාතේති ඒව” යනුවෙන් විනය අටුවාවෙහි මාපියන් හැර සෙසු නෑයන්ට දීමත් සද්ධාදෙය්‍ය විනිපාතනය බව දක්වා තිබේ. භික්ෂූන්ගේ වතාවත් කරන ගිහියන්ටත්, පැවිදි වීමට පැමිණ ඉන්නා අයටත්, නුදුන හොත් අනතුරු කරන රාජ චෝරාදීන්ටත්, විහාරයට පැමිණ දුගියන්ටත්, මඟ වියදම් නැතුව පැමිණෙන ආගන්තුකයන්ටත් තමාට ලැබෙන ප්‍රත්‍යය දීමෙන් වරදක් නො වේ.
න ච භික්ඛවේ, පණිධාය අරඤ්ඤේ වත්ථබ්බං. යෝ වසෙය්‍ය ආපත්ති දුක්කටස්ස. න ච භික්ඛවේ පණිධාය පිණ්ඩාය චරිතබ්බං, යෝ චරෙය්‍ය ආපත්ති, දුක්කටස්ස.
(පාරාජිකාපාළි චතුත්ථපාරාජිකා)
යනුවෙන් “මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා පතා අරණ්‍යයෙහි නො විසිය යුතු ය. පිඬු පිණිස නො හැසිරිය යුතුය” යි වදාරා ඇති බැවින් ශ්‍රමණයන් විසින් කළ යුතු ආරණ්‍යයෙහි විසීම් භාවනා කිරීම් ආදිය වුව ද ලාභ කීර්ති පතා නො කළ යුතු ය.
ලාභය - අලාභය - යසසය - අයසසය - නින්දාවය - ප්‍රශංසාවය - සැපය - දුකය කියා ලෝකස්වභාව අටක් ඇත්තේ ය. එයට ‘අෂ්ටලෝකධර්මය’ යි කියනු ලැබේ. එහි ‘යසසය’ යනු පිරිස ඇති බව ය. අයසසය යනු පිරිස නැති වීම ය. තනිවීම ය. ලෝකයෙහි ගිහි පැවිි කිසිවකුට සෑම කල්හි ම එක් තත්ත්වයකින් සිටින්නට නො ලැබේ. ලාභාලාභාදි සියල්ල ම වරින් වර සැමට ම පැමිණෙයි. පැවිද්දාහට එයට මුහුණ දීමට සමත් මානසික බලයක් තිබිය යුතු ය. ලෝකධර්මයන් නිසා වෙනසකට නො පැමිණ සිටිය හැකි බවට ‘තාදී ගුණය’ යි කියනු ලැබේ. එය උසස් ආර්‍ය්‍ය ගුණයෙකි. එය සම්පූර්ණයෙන් ඇත්තේ බුදුවරුන් හා රහතුන් කෙරෙහි ය. සාමාන්‍යයෙන් සියලු ම පැවිද්දන් එක්තරා ප්‍රමාණයකින් වත් ඒ තාදී ගුණය ඇති කර ගත යුත ුය. එසේ නැති තැනැත්තාට මහණදම් පිරීම දුෂ්කර ය. අෂ්ටලෝකධර්මය මතක තිබීමට මේ ගාථාව පාඩම් කර ගත යුතු ය.
“ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච
නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං
ඒතේ අනිච්චා මනුජේසු ධම්මා
අසස්සතා විපරිණාම ධම්මා.
(අංගුත්තර අට්ඨක නිපාත)
අෂ්ටලෝක ධර්මය පිළිබඳ ව ගෝදත්ත මහරහතන් වහන්සේ වදාරා ඇති මේ ගාථා පාඩම් කරගෙන තිබීම පැවිද්දන්ට ඉතා ප්‍රයෝජනය.
1. යථාපි භද්දෝ ආජඤ්ඤෝ ධුරේ යුත්තෝ ධුරාසභෝ මථිතෝ අතිභාන සංයුගං නාතිවත්තති.
2. ඒවං පඤ්ඤාය යේ තිත්තා සමුද්දෝ වාරිනා යථා, න පරේ අතිමඤ්ඤති අරියධම්මෝව පාණිනං.
“රියෙහි යොදන ලද බර උසුලන්නා වූ යහපත් ගවා අතිභාරයෙන් මඩනා ලද්දේ ද තමාගේ කර තබා ඇති ඒරියකඳ ඉවත නො දමන්නාක් මෙන්, ජලයෙන් පිරුණු සාගරය සේ ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවෙන් පරිපූර්ණ වූ පුද්ගලයෝ තාදී ගුණය නමැති බර නො හරනාහ. ඔවුහු ලාභාලාභාදියෙහි අන්‍යයන් පහත් කොට නො සිතන්නා හ. එසේ අන්‍යයන් පහත් කොට නො සැලකීම ආර්‍ය්‍ය ධර්මයෙක.”
3. කාලේ කාලවසං පත්තා භවාභවවසං ගතා, නරා දුක්ඛං නිගච්ඡන්ති තේ’ ධ සෝචන්ති මානවා,
“ලාභාලාභාදියෙන් යුක්ත වන කාලයෙහි උඩඟු වීම් ශෝකවීම් ඇලීම් කිපීම් වශයෙන් ඒවාට වසඟයට පැමිණෙන්නා වූ ද, එසේ ම දියුණුව - හානිය යන දෙකට වසඟ වන්නා වූ ද මනුෂ්‍යයෝ දුකට පැමිණෙති. මේ ලෝකයෙහි ඔවුහු ශෝක කෙරෙති.”
4. උන්නතා සුඛධම්මේන දුක්ඛධම්මේන ඕනතා, ද්වයේන බාලා හඤ්ඤන්ති යථා භූතං අදස්සිනෝ.
“සැපයට හේතුවන ලාභාදියෙන් උඩඟු වූ දුඃඛයට හේතු වන ආලාභාදියෙන් බැගෑපත් බවට පැමිණියා වූ ලෝක තත්ත්වයට ඇති සැටියෙන් නො දන්නා වූ ස්කන්ධාදි ධර්මයන් තත් වූ පරිද්දෙන් නො දන්නා වූ බාලයෝ උඩඟු බව බැගෑ බව යන දෙකින් ම පෙළෙන්නා හ.”
5. යේ ච දුක්ඛෙ සුඛස්මිං ච මජ්ඣෙ සිබ්බනි මච්චගු, ඨිතා තේ ඉන්දඛීලොව න තේ උන්නත ඕනතා.
“යම් ආර්‍ය්‍යපුද්ගල කෙනෙක් අග්‍රමාර්ගාධිගමයෙන් සුඛ වේදනා දුඃඛ වේදනා මධ්‍යස්ථ වේදනා පිළිබඳ වූ ඡන්ද රාගය නමැති බන්ධනය ඉක්මවූවාහු ද ඒ ආර්‍ය්‍යයෝ ඉන්ද්‍රඛීලයන් සේ ස්ථිර ව සිටින්නාහ. ඔවුහු උඩඟු බවට හා බැගෑ බවට නො පැමිණෙන්නාහ.”
6. නහේච ලාභේ නාලාභේ අයසේ න ච කිත්තියා, න නින්දායං පසංසායං න තේ දුක්ඛෙ සුඛම්හි ච.
7. සබ්බත්ථ තේ න ලිප්පන්ති උදබින්දූව පොක්ඛරේ, සබ්බත්ථ සුඛිතා ධීරා සබ්බත්ථ අපරාජිතා.
“ඒ ක්ෂීණාශ්‍රවයෝ ලාභයෙහි ද වෙනසකට නො පැමිණෙන්නා හ. අලාභයෙහි ද වෙනසකට නො පැමිණෙන්නාහ. අයසයෙහි ද යසසෙහි ද නින්දාවෙහි ද ප්‍රශංසාවෙහි ද සැපයෙහි ද දුකෙහි ද වෙනසකට නො පැමිණෙන්නා හ. ඒ ආර්‍ය්‍යයෝ පියුම්පතෙහි දියබින්දු මෙන් සැම තන්හි ම නො ඇලෙන්නා හ. එබැවින් ඒ නුවණැත්තෝ සැම තන්හි ම සුඛිත වන්නා හ. සැම තන්හි ම කෙලෙසුන් විසින් නො පදරවන ලද්දෝ වන්නා හ.”
8. ධම්මේන ච අලාභෝ යෝ යෝ ද ලාභෝ ධම්මිකෝ අලාභෝ ධම්මිකෝ සෙය්‍යෝ යං චේ ලාභෝ අධම්මිකෝ.
ධර්මය අනුව පිළිපදින්නහුට ඒ නිසා වන ලාභ හානිය ය, බුද්ධාදීන් විසින් පිළිකුල් කරන අයථා ක්‍රම වලින් ලාභ ඇති කර ගැනීම ය යන මේ දෙකින් අධර්මයෙන් ඇති කර ගන්නා ලාභයට වඩා ධර්මය පිළිපැදීමෙන් වන අලාභය ම උතුමි.”
9. යසෝ ච අප්පබුද්ධීනං විඤ්ඤූනං අයසෝ ච යෝ, අයසෝ ව සෙය්‍යෝ විඤ්ඤූනං න යසෝ අප්පබුද්ධිනං.
“අනුවණයන් නිසා ලබන කීර්තිය, නුවණැතියන් නිසා ලබන අපකීර්තිය යන මේ දෙකින් මන්දබුද්ධිකයන් නිසා ඇති වන කීර්තියට වඩා නුවණැතියන් නිසා ලබන අපකීර්තිය උතුමි.
10. දුම්මේධෙහි පසංසා ච විඤ්ඤූහි ගරහා ච යා, ගරහාව සෙය්‍යෝ විඤ්ඤූහි යං චේ බාලප්පසංසනා.
“අනුවණයන් විසින් කරනු ලබන ප්‍රශංසාවය, විඥයන් කරන ගර්හාවය යන මේ දෙකින් අඥයන් ගේ ප්‍රශංසාවට වඩා විඥයන් ගේ ගර්හාව උතුමි.”
11. සුඛඤ්ච කාමමයිකං දුක්ඛඤ්ච පවිවේකියං, පවිවේකියං දුක්ඛං සෙය්‍යෝ යඤ්චේ කාමමයං සුඛං
“රූපශබ්දාදි කාමවස්තූන් නිසා ඇති වන සැපය ය, විවේකය සේවනය කරන්නහුට ආරණ්‍ය වෘක්ෂමූල ගුහාදියෙහි රළු අසුන්වල හිඳීමෙන් සැතපීමෙන් වන දුකය යන මේ දෙකින් විවේකයෙන් විසීම නිසා වන දුක කාම වස්තූන් නිසා ලබන සුවයට වඩා උතුමි.”
12. ජීවිතඤ්ච අධම්මේන ධම්මේන මරණඤ්ච යං, මරණං ධම්මිකං සෙය්‍යෝ යඤ්චේ ජීවේ අධම්මිකං.
“අධර්ම ක්‍රියාවලින් පවත්වන ජීවිකාවය, ධර්මයෙහි හැසිරීම නිසා වන මරණයය යන මේ දෙකින් අධර්මයෙන් ජීවත්වීමට වඩා ධර්මයෙහි හැසිරීම නිසා වන මරණය උතුමි.”
13. කාමකෝප පහීණා යේ සන්තචිත්තා භවාභවේ, චරන්ති ලෝකේ අසිතා නත්ථි තේසං පියාප්පියං.
“ලෝකෝත්තර මාර්ගඥානයෙන් සර්වප්‍රකාරයෙන් ඇලීම් කිපීම් දෙක දුරු කළා ව කුඩා මහත් භවයන්හි ඇලීම දුරු කළා වූ, සන්සුන් සිත් ඇත්තා වූ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගන්නා වූ යම් ආර්ය්‍ය පුද්ගල කෙනෙක් ලෙව්හි හැසිරෙත් ද ඒ ක්ෂීණාශ්‍රවයන්ට ප්‍රියාප්‍රිය දෙක නැත.
14. භාවයිත්වාන බොජ්ඣංගේ ඉන්ද්‍රියානි බලානි ච, පප්පුය්‍ය පරමං සන්තිං පරිනිබ්බන්ති අනාසවා.”
“බෝධ්‍යංගයන්ද ඉන්ද්‍රියයන් ද බලයන් ද භාවනා කොට ක්ලේශප්‍රහාණයෙන් පරමශාන්තියට පැමිණ රහත්හු අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවෙන්නාහ.”
අනේපිඬු මහසිටුහුගේ දුවණියක වන චූළසුභද්දාව ඇගේ මයිලණුවන් ඉදිරියේ කී ශ්‍රමණ ගුණ දැක්වෙන ගාථා පෙළක් ධම්මපදට්ඨකථාවෙහි පකිණ්ණකවග්ගගේ චූළ සුභද්දා වත්ථුවෙහි එන්නේ ය.
ඒ මෙසේ ය:
1. “සන්තින්ද්‍රියා සන්තමනසා සන්තං තෙසං ගතං ඨිතං
ඔක්ඛිත්තචක්ඛු මිතභාණි තාදිසා සමණා මම.
-
2. කායකම්මං සුචී තෙසං වාචාකම්මං අනාවිලං
මනෝකම්මං සුවිසුද්ධං තාදිසා සමණා මම.
-
3. විමලා සංඛමුත්තාභා සුද්ධා අන්තරබාහිරා
පුණ්ණා සුද්ධේහි ධම්මේහි තාදිසා සමණා මම.
-
4. ලාභේන උන්නතෝ ලෝකෝ අලාභේන ච ඕනතෝ.
ලාභාලාභේන ඒකට්ඨා තාදිසා සමණා මම.
-
5. යසේන උන්නතෝ ලෝකෝ අයසේන ච ඕනතෝ.
යසායසේන ඒකට්ඨා තාදිසා සමණා මම.
-
6. පසංසාය උන්නතෝ ලෝකෝ නින්දාය ච ඕනතෝ.
සමා නින්දා පසංසාසු තාදිසා සමණා මම.
-
7. සුඛෙන උන්නතෝ ලෝකෝ දුක්ඛෙන ච ඕනතෝ,
අකම්පා සුඛදුක්ඛෙසු තාදිසා සමණා මම.”
තේරුම :-
1. “මාගේ හාමුදුරුවරු සන්සුන් ඉඳුරන් ඇත්තෝ ය. සන්සුන් සිත් ඇත්තෝ ය. උන්වහන්සේලාගේ ගමනත් සිටීමත් සන්සුන් ය. උන්වහන්සේලා යටට හෙළන ලද ඇස් ඇත්තෝ ය. පමණට කථා කරන ස්වභාවය ඇත්තෝ ය. මාගේ ශ්‍රමණයෝ එවැන්නෝ ය.
2. මාගේ හාමුදුරුවන්ගේ කායකර්ම පිරිසිදු ය. වාක් කර්ම පිරිසිදු ය. මනඃකර්ම පිරිසිදු ය. මාගේ ශ්‍රමණයෝ එවැන්නෝ ය.
3. මාගේ හාමුදුරුවරු ඇතුළ පිට දෙකින් ම සක් සේ මුතු සේ නිර්මලයෝ ය. ශුද්ධ වූ ගුණධර්මයන්ගෙන් පිරුණෝ ය. මාගේ ශ්‍රමණයෝ එවැන්නෝ ය.
4. ලෝවැස්සා ලාභය නිසා උඩඟු වන්නේ ය. අලාභය නිසා බැගෑපත් වන්නේ ය. මාගේ හාමුදුරුවරු ලාභාලාභ දෙක්හි සම ව හැසිනේනේ ය. මාගේ ශ්‍රමණයෝ එවැන්නෝ ය.
5. ලෝවැස්සා පරිවාරසම්පත්තියෙන් උඩඟු වන්නේ ය. පරිවාරසම්පත්තිය නැති වීමෙන් බැගෑපත් වන්නේ ය. මාගේ හාමුදුරුවරු යසායස දෙක්හි සම ව හැසිරෙන්නෝ ය. මාගේ ශ්‍රමණයෝ එවැන්නෝ ය.
6. ලෝවැසියා ප්‍රශංසාවෙන් උඩඟු වන්නේ ය. නින්දාවෙන් බැගෑපත් වන්නේ ය. මාගේ හාමුදුරුවරු නින්දා ප්‍රශංසා දෙක්හි සම ව පවතින්නෝ ය. මාගේ ශ්‍රමණයෝ එවැන්නෝ ය.
7. ලෝවැසියා සැපයෙන් උඩඟු වන්නේ ය. දුකින් බැගෑපත් වන්නේ ය. මාගේ හාමුදුරුවරු සැපදුක් දෙක්හි සම ව පවතින්නෝ ය. මාගේ ශ්‍රමණයෝ එවැන්නෝ ය.”
1. “සීතවාත පරිත්තානං හිරිකෝපීන ඡාදනං
මත්තත්ථියං අභුඤ්ජිංසු සන්තුට්ඨා ඉතරීතරේ
-
2. පණීතං යදි වා ලූඛං අප්පං වා යි වා බහුං
යාපනත්ථං අභූඤ්ජිංසු සන්තුට්ඨා ඉතරීතරේ
-
3. ජීවිතානං පරික්ඛාරේ භේසජ්ජේ අථ පච්චයෙ,
න බාළ්හං උස්සුකා ආසුං යථා තේ ආසවක්ඛයේ.
-
4. අරඤ්ඤේ රුක්ඛමූලේසු කන්දරාසු ගුහාසු ච.
විවේක මනුබ්‍රෑහන්තා විහිංසු තප්පරායනා.
-
5. නීචා නිවිට්ඨා සුභරා මුදූ අත්ථද්ධමානසා,
අබ්‍යාසේකා අමුඛරා අත්ථචින්තා වසානුගා.
-
6. තතෝ පසාදිකං ආසි ගතං භුත්තං නිසේවිතං
සිනිද්ධා තේලධාරාව අහෝසි ඉරියාපථෝ.
-
7. සබ්බාසව පරික්ඛීණා මහාඣායී මහාහිතා,
නිබ්බුතා දානි තේ ථෙරා පරිත්තා දානි තාදිසා.”
(පාරාපරියථෙර ගාථා)
තේරුම :
මේ ගාථා පාරාපරිය තෙරුන් වහන්සේ විසින් ප්‍රකාශ කර ඇත්තේ බුදුරදුන් පිරිනිවන් පෑ අලුත ය. මෙයින් වර්ෂ දෙදහස් පන්සියයකට පමණ පෙර ය. මේ ගාථා වලින් කියැවෙන පරිදි හැසිරෙන අය මඳ වුව ද අතීත තෙරුන් වහන්සේලාගේ ගති ගුණ හැකි තාක් අනුගමනය කරන්නට වර්තමාන පැවිද්දන් උත්සාහ කළ යුතු ය.
1. “අනික්කසාවෝ කාසාවං යෝ වත්ථං පරිදහිස්සති.
අපේතෝ දමසච්චේන න සෝ කාසාවමරහති.
-
2. යෝ ච වන්තකසාවස්ස සීලේසු සුසමාහිතෝ,
උපේතෝ දමසච්චේන ස වේ කසාවමරහති.
-
3. විපන්නසීලෝ දුම්මේධෝ පාකටෝ කාමකාරියෝ,
විබ්භන්තචිත්තෝ නිස්සුක්කෝ න සෝ කාසාවමරහති.
-
4. යෝ ච සීලේන සම්පන්නෝ වීතරාගෝ සමාහිතෝ,
ඕදාතමනසංකප්පෝ ස වේ කාසාවමරහති.
-
5. උද්ධතෝ උන්නලෝ බාලෝ සීලං යස්ස න විජ්ජති.
ඕදාතකං අරහති කාසාවං කිං කරිස්සති.”
(ඵුස්සත්ථෙර ගාථා)
“උද්ධතෝ චපලෝ භික්ඛූ පංසුකූලේන පාරුතෝ,
කපීව සීහචම්මෙන න සෝ තේනුපසෝභති.
(මහාකස්පථෙර ගාථා)
නො සන්සුන් සිත් ඇත්තා වූ චපල වූ මහණ තෙමේ පාංසුකූලය පොරවන ලදුයේ සිංහ සම පෙරවූ වඳුරකු සේ නො හොබනේ ය.
ඌමි භය, කුම්භීල භය, ආවට්ට භය, සුසුකා භය කියා ජලයට බසින්නහුට එහි භය සතරක් ඇති බවත්, එවැනි භය සතරක් බුදුසස්නෙහි සැදැහැයෙන් පැවිදි වන කුලපුත්‍රයාට ද ඇති බවත්, තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම නිකායේ චාතුම සූත්‍රයෙහි හා අංගුත්තර නිකායේ චතුෂ්ක නිපාතයෙහි ද වදාරා ඇත්තේ ය.
ඒවායින් “ඌමි භය” යනු දියට බට අය යට කරන තද රළ නිසා වන භය ය. “කුම්භීල භය” යනු මිනිසුන් අල්ලන නපුරු කිඹුලුන් නිසා වන භය ය. ‘ආවට්ට භය’ යනු මිනිසුන් ඇද ගන්නා දියසුළි නිසා වන භය ය. ‘සුසුකා භය’ යනු මිනිසුන් අල්ලන සපන නපුරු මසුන් නිසා වන භය ය.
මේ සස්නෙහි කුලපුත්‍රයකු පැවිදි වූ කල්හි ඔහුට ආචාර්යෝපාධ්‍යායාදි සබ්‍රහ්මචාරීහු “ඇවැත්නි, මෙසේ යා යුතු ය, මෙසේ හිඳ ගත යුතු ය. මේ වේලාවට සැතපිය යුතුය. මේ වේලාවට නැගිටිය යුතුය. මෙසේ බැලිය යුතුය, මෙසේ පා සිවුරු දැරිය යුතු ය. මේ මේ දේ කළ යුතු ය, මේ මේ දේ නො කළ යුතු ය යනාදීන් අවවාදානුශාසනා කෙරෙති. ඇතැම් පැවිද්දෝ එසේ අවවාදානුශාසනා කරන කල්හි ආචාර්යෝපාධ්‍යායාදීන් කෙරෙහි කිපී ගිහි ව සිටි කාලයේ දී අපේ වැඩවලට කවුරුවත් ඇඟිලි ගසන්නට ආවේ නැත. අපි කාගේන්වත් කරදරයක් නැතිව අපේ කැමැත්ත පරිදි හැසුරුණෙමු. දැන් අපට කිසි නිදහසක් නැත. මේ මොන කරදරයක්ද? මේ මහණ කමෙන් අපට කම් නැත.” කියා සිවුරු හැර යති. ක්‍රෝධයට යට වී එසේ සිවුරු හැර යෑම, දියට බට තැනැත්තා ගේ රළට යට වී මැරීම වැනි බැවින් කෝධූපායාසය ‘ඌමිභය’ යයි කියනු ලැබේ.
“ඌමිභයන්ති ඛෝ භික්ඛවේ, කෝධූපායස්සේතං අධිවචනං.”
“මහණෙනි, ඌමි භය යන මෙය ක්‍රෝධය නිසා වන චිත්තපීඩාවට නමක් ය” යනු එහි තේරුම ය.
මේ ශාසනයෙහි පැවිදි වන්නා වූ ඇතැම් කුලපුත්‍රයෝ ආචාර්යෝපාධ්‍යයාදීන් විසින් මෙය කෑ යුතු ය. මෙය නො කෑ යුතු ය. මෙය පිය යුතු ය, මෙය නොපිය යුතු ය, මේ වේලාවේදී කෑ යුතු ය, මේ වේලාවේදී නො කෑ යුතු ය, මෙය කැප ය, මෙය අකැපය ය යනාදීන් අවවාදානුශාසනා කරන කල්හි, ගිහි කාලයේ අපට මෙබඳු කරදරයක් තිබුණේ නැත. අපි අපගේ කැමැත්ත පරිදි කැමති වෙලාවක කැමති දෙයක් නිදහසේ කෑවෙමු. බීවෙමු. දැන් අපගේ කටත් වසති. ඇති දෙයක් වත් රිසිසේ කා බී ඉන්නට අපට ඉඩ නොදෙති. මෙය මහ කරදරයෙකි. මේ වැඩේ අපට කරන්නට බැරිය කියා සිවුරු හැර යති. කිඹුලුන් ජලයට බසිනවුන් කා මරා දමන්නාක් මෙන් නිතර කෑමට බීමට බලාපොරොත්තු වන කෑදර පුද්ගලයා ඒ කෑදර කමින් ම සසුනෙන් පහ කරනු ලැබේ. එබැවින් කෑදරකම මේ ශාසනයෙහි කුම්භීල භය ය’ යි කියනු ලැබේ.
“කුම්භීල භයන්ති ඛො භික්ඛවෙ, ඔදරිකත්තස්සෙතං අධිවචනං”
“මහණෙනි, කුම්භීල භය යනු කෑදර කමට නමක් ය” යනු එහි තේරුම ය.
මේ සස්නෙහි පැවිදි වූ ඇතැමෙක් සිහියෙන් තොර ව ඉන්ද්‍රියසංවරයෙන් තොර ව නගරග්‍රාමයන්ට පිවිස එහි හොඳ ඇඳුම් පැළඳුම් ඇති ව, හොඳ ගෙවල් ඇති ව, හොඳ ගෘහභාණ්ඩ ඇති ව, හොඳ කෑම් පීම් ඇති ව, හොඳ යාන වාහන ඇති ව, පස්කම් සැප විඳින ජනයා දැක, “මේ මහණකම කිසිවක් කර කියා ගන්නට ඉඩක් නැති සිරගෙගයක් වැනියක, මේ පැවිදි ජීවිතයෙන් ඇති පලක් නැත” කියා පස්කම් සැපයට ආශා කොට සිවුරු හැර යෙති. ජලයට බට තැනැත්තා දිය සුළිවලින් ඇද ගෙන ගොස් දියෙහි ගිල්වා මරන්නාක් මෙන් පඤ්චකාමයන් එයට ආශා කරන පැවිද්දන් තමා කරා ඇද සසුනෙන් පහ කරන බැවින් එය දිය සුළියක් වැනි ය. එබැවින් එයට මේ සස්නෙහි ‘ආවට්ටභය’ය යි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ආවට්ටභයන්ති ඛෝ භික්ඛවේ, පඤ්චන්නං කාමගුණානමේතං අධිවචනං.”
“මහණෙනි, ආවට්ට භය යන මෙය පඤ්චකාමයට නමෙක” යනු එහි තේරුම ය.
මේ සස්නෙහි සැදැහැයෙන් පැවිදි වූ ඇතැමෙක් සිහියෙන් තොර ව ඉන්ද්‍රිය සංවරයෙන් තොර ව නගර ග්‍රාමයන්ට ඇතුළු ව ඒවායේදී නො මනා ලෙස හැඳ පොරවා වෙසෙන මාගමුන් දැක රාගය ඇවිස්සී සිවුරු හැර යති. දියට බට ඇතැමුන් නපුරු මසුන් විසින් මරා දමන්නාක් මෙන් මාගමුන් දැක ඇති වන රාගය ද පැවිද්දන් ශාසනයෙන් පහ කර දමන බැවින් එයට “සුසුකාභයය” යි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“සුසුකාභයන්ති ඛෝ භික්ඛවේ, මාතුගාමස්සේතං අධිවචනං”
“මහණෙනි, සුසුකා භය යන මෙය ස්ත්‍රියට නමෙක” යනු එහි තේරුම ය. සසර දුකින් එතෙර වනු රිසියෙන් සැදැහැයෙන් පැවිදි වූ කුල පුත්‍රයෝ මේ භය සතරට හසු වී ශාසනයෙන් බැහැර වන්නට සිදු නොවන ලෙස සිහිනුවණින් යුක්ත වෙත්වා!
පැවිදි වන්නේ සංසාරය දුක බැවින් එයින් එතෙර වීම, මිදීම පිණිස ය. භික්ෂු යන වචනයේ තේරුමත් සංසාර දුඃඛය තේරුම් ගෙන සිටින තැනැත්තාය යනුයි. සංසාර භය අමතක වීම ද පැවිද්දන්ට බාධාවෙකි. සංසාර දුඃඛය සිතන්න සිතන්න මහණදම් පිරීමේ උනන්දුව වැඩි වේ. එබැවින් පැවිද්දන් විසින් සංසාර තත්ත්වය වරින් වර සිහි කළ යුතු ය.
කොතෙක් වර මළත් නැවත නැවත ඉපදීම් වශයෙන් නො සිඳී පවත්නා වූ ස්කන්ධ පරම්පරාව සංසාර නම් වේ. නැවත නැවත මැරෙමින් උපදිමින් නො සිඳී පවත්නා වූ භව පරම්පරාව සංසාරය යි ද කිය හැකි ය. මේ සංසාරය ඉතා දීර්ඝ එකකි. අසවල් කාලයෙන් ඔබ මේ සත්ත්වයෝ නො විසූහ. මේ සත්ත්වයන් ඇති වූයේ අසවල් කාලයේ පටන් ය කියා දැක්වීමට කාලයක් නැත. එබැවින් තථාගතයන් වහන්සේ මේ සංසාරය පටන් ගැනීම් වශයෙන් මුලක් ඇතියක් නො වන බව වදාළ සේක. ඉතා දීර්ඝ වූ මේ සංසාරයෙහි සත්ත්වයකුට නිත්‍ය වශයෙන් ජීවත් විය හැකි භවයක් නැත. කොතැනක උපනත් මරණයෙන් ඒ භවයෙන් පහවන්නට සිදු වන්නේ ය. මරණයට පැමිණෙන සත්ත්වයකුට සුගතියක උපදින්නට ලැබෙන්නේ ද කලාතුරකිනි. මැරෙන සත්ත්වයන් බෙහෙවින් උපදින්නේ දුර්ගතිවලම ය.
දිනක් තථාගතයන් වහන්සේ නිය පිට පස් ස්වල්පයක් තබා භික්ෂූන් අමතා, “මහණෙනි, මේ පොළොවෙහි ඇති පස්වලිනුත් මගේ නිය පිට ඇති පස්වලිනුත් කවරක් වැඩිදැ” යි විචාළ සේක. භික්ෂූහු “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ ගේ නිය පිට ඇති පස ඉතා ස්වල්පයකි. මහ පොළොවේ පස් ඉතා බොහෝ ය” යි සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “මහණෙනි, මගේ නිය පිට ඇති පස මඳ වන්නාක් මෙන් මිනිස් ලොවින් ච්‍යුත ව මිනිස් ලොව නැවත උපදනා සත්ත්වයෝ මඳ වන්නාහ. මිනිස් ලොවින් ච්‍යුත ව නැවත නරකයෙහි උපදනා සත්ත්වයෝ ම බොහෝ වන්නාහ” යි වදාළ සේක. සුගතියෙහි උපදනා සත්ත්වයන් මඳ බව ලෝකය දෙස බැලීමෙන් ද ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ය. මේ ලෝකයෙහි අපේ ඇස්වලට නො පෙනෙන සත්ත්වයෝ ද බොහෝ ය. අපේ ඇසට පෙනෙන සත්ත්වයන් ගැනම බැලුම ද මිනිසුන් කීප දෙනකුන් ජීවත් වන අක්කරයක් දෙකක් තරම ඉඩමක මුළු ලොව ම ඉන්නා මිනිසුන් තරමේ තිරිසන් සත්ත්ව සමූහයක් ඇති බව දැකිය හැකි ය. තිරිසන් සත්ත්වයෝ දුර්ගතියට අයත් සත්ත්වයෝ ය. තිරිසන් සත්ත්වයන් එතරම් බහුල වී ඇත්තේ දුර්ගතියෙහි උපදනා සත්ත්වයන් බහුල නිසා ය. සත්ත්වයනට බොහෝ සෙයින් දුර්ගතියෙහි ම උපදින්නට සිදු වන බැවින් එක් පුද්ගලයකුට අතීත සංසාරයේ දී තිරිසන් යෝනියෙහි උපදින්නට සිදුවූ වාර ගණන කිසි ලෙසකින් ප්‍රමාණ කළ නොහැකි ය. ප්‍රේත ව උපදින්නට සිදු වූ වාරත් සඤ්ජීවාදි මහානරකයන්හි උපදින්නට සිදුවූ වාරත් මෙතෙකැයි කවරාකාරයකින්වත් ප්‍රමාණ නො කළ හැකි ය. සංසාරයේ නපුර වැඩිදුරටත් අනමතග්ග සංයුත්තයෙහි වදාරා ඇති මතු දැක්වෙන දේශනා අනුව සලකා ගත යුතු ය.
“යං භික්ඛවේ, පස්ස්‍යොථ දුග්ගතං දුරූපේතං නිට්ඨමෙත්ථ ගන්තබ්බං. අම්හේපි ඒවරූපං පච්චනුභූතං ඉමිනා දීඝෙන අද්ධුනාති.”
“මහණෙනි, තෙපි විකාර අත්පා ආදිය ඇති බැවින් විරූප වූ දිළිඳු වූ යම් අයකු දක්නහු ද, එකල්හි තොප විසින් මේ දීර්ඝ වූ සංසාරයෙහි අපිත් මෙසේ ම සිටියෙමුය” යි විනිශ්චයට පැමිණිය යුතු ය.
“එතදේව භික්ඛවේ, බහුතරං යං වෝ ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං අමනාප සම්පයෝගා මනාප විප්පයෝගා කන්දන්තානං රුදන්තානං අස්සු පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහාසමුද්දේසු උදකං.”
“මහණෙනි, මේ දීර්ඝ වූ කාලය මුළුල්ලෙහි සසර සැරි සරන්නා වූ තොප අමනාප සම්ප්‍රයෝගයෙන් හා මනාප විප්‍රයෝගයෙන් වගුළ කඳුළු ඉතා බොහෝ ය. සතර මහා සාගරයේ ජලය ඒ කඳුළට අඩු ය.
“දීඝරත්තං වෝ භික්ඛවේ, මාතු මරණං පච්චනුභූතං තේසං වෝ මාතුමරණං පච්චනුභොන්තානං අමනාප සම්පයෝගා මනාපවිප්පයෝගා කන්දන්තානං රුදන්තානං අස්සු පස්සන්දං පග්ඝරිතං, නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං.”
“මහණෙනි, තොප විසින් දීර්ඝ කාලයක් මාතෘමරණයෙන් වන දුක විඳින ලද්දේ ය. මාතෘමරණ දුඃඛය විඳින්නා වූ ඒ තොප අමනාප සම්ප්‍රයෝගයෙන් මනාප විප්‍රයෝගයෙන් හඬා වගුළ කඳුළු බොහෝ ය. සතර මහා සාගරයේ ජලය ඒ කඳුළට මඳ ය.”
“දීඝරත්තං වෝ භික්ඛවේ, පිතුමරණං පච්චනුභූතං - පෙ - භාතු මරණං පච්චනුභූතං -පෙ- භගිනි මරණං පච්චනුභූතං -පෙ- පුත්තමරණං පච්චනුභූතං -පෙ- ධීතුමරණං පච්චනුභූතං -පෙ- ඤාතිව්‍යසනං පච්චනුභූතං -පෙ- රෝගව්‍යසනං පච්චනුභූතං, තේසං වෝ රෝගව්‍යසනං පච්චනුභොන්තානං අමනාප සම්පයෝගා මනාපවිප්පයෝගා කන්දන්තානං රුදන්තානං අස්සු පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහාසමුද්දේසු උදකං.”
“මහණෙනි, තොප විසින් දීර්ඝ කාලයක් පිතෘ මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, භාතෘ මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, භගිනි මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, පුත්‍ර මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, දුහිතෘ මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, ඥාති ව්‍යසනයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, රෝග ව්‍යසනයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, ඒ තොප විසින් රෝගව්‍යසනයෙන් වන දුක අනුභව කරන ලද්දේ, අමනාප සම්ප්‍රයෝගයෙන් මනාප විප්‍රයෝගයෙන් හැඬීමෙන් වගුළ කඳුළු බොහෝ ය. සතර මහා සාගරයේ ජලය මඳය.”
“එතදෙව භික්ඛවේ බහුතරං යං වෝ ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං සච්ඡින්නානං ලෝහිතං පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං.”
“මහණෙනි, මේ සා දීර්ඝ කාලයක් සසර සැරිසැරූ තොප ගේ ශරීරවලින් හිස සුන් කරනු ලැබූ ජාතිවල දී ගලාගිය යම් ලෙයක් වේ ද එය ම බොහෝ වන්නේ ය. සතර මහා සාගරයේ ජලය එ පමණ නො වන්නේ ය. ”
“දීඝරත්තං වෝ භික්ඛවේ. ගුණ්ණං සතං ගෝ භූතානං සීසච්ඡින්නානං ලෝහිතං පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං. දීඝරත්තං වෝ භික්ඛවේ මහිසානං සතර මහිසභූතානං -පෙ- අජානං සතං අජභූතානං -පෙ- උරබ්භානං සතං උරබ්භභූතානං -පෙ- මිගානං සතං මිගභූතානං -පෙ- සූකරානං සතර සූකරභූතානං -පෙ- කුක්කුටානං සතං කුක්කුටභූතානං -පෙ- දීඝරත්තං වෝ චෝරා ගාමඝාතකාති ගහෙත්වා සීසච්ඡින්නානං ලෝහිතං පස්සන්දං පග්ඝරිතං. දීඝරත්තං වෝ භික්ඛවේ චෝරා පාරිපන්ථිකාති ගහෙත්වා -පෙ- චෝරා පාරිදාරිකාති ගහෙත්වා සීසච්ඡින්නානං ලෝහිතං පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහාසමුද්දේසු උදකං.”
“මහණෙනි, මේ දීර්ඝ කාලයේ තොප ගව ව ඉපද ගෙළ සිඳිණු ලැබූ අවස්ථාවල දී තොප ගේ ශරීරවලින් ගලා ගිය ලෙය ඉතා බොහෝ ය, සතර මහා සාරයේ ජලය මඳය. මීමුන් ව උපන් අවස්ථාවලදී, එළු ව උපන් අවස්ථාවල දී, මුව ව උපන් අවස්ථාවලදී, හූරු ව උපන් අවස්ථාවල දී, කුකුළු ව උපන් අවස්ථාවල දී, හිස සිඳිණු ලැබීමෙන් ගලා ගිය ලෙය බොහෝ ය. සතර මහා සාගර යේ ජලය මඳය. ගම් පහරන සොරුය කියා අල්ලා හිස සිඳිණු ලැබූ අවස්ථාවල දී, මං පහරන සොරුය කියා අල්ලා හිස සිඳිණු ලැබූ අවස්ථාවල දී, පාරදාරිකයෝ යයි අල්ලා හිස සිඳිණු ලැබූ අවස්ථාවල දී තොප ගේ ශරීරවලින් ගලා ිය ලෙය බොහෝ ය. සතර මහා සාගරයේ ජලය මඳය” යනු එහි අදහස ය.
හොඳින් මහණ දම් පුරා අර්හත්මාර්ග ඥානය උපදවා සසර නැවත නැවත ඉපදීමට හේතු වන තෘෂ්ණාව නො නැසුව හොත් මේ දුක්ඛස්කන්ධ ඉදිරියටත් මෙසේ ම පවත්නේ ය. මේ භයානක දුක්ඛයෙන් මිදෙනු කැමැත්තෝ මැනවින් මහණදම් පුරා සංසාර දුක්ඛයාගේ නිවීම වූ නිවනට පැමිණෙත්වා!
භාර්යාවෝ ය, දූ දරුවෝ ය, සහෝදර සහෝදරියෝ ය, ඥාති මිත්‍රයෝ ය, ආහාරපාන වස්ත්‍රාභරණයෝ ය, යාන වාහන හා නොයෙක් ආකාර පරිභෝග භාණ්ඩයෝ ය, ගී නැටුම් - ගැයුම් හා නොයෙක් ආකාර ක්‍රීඩාවෝ ය, රන් රිදී මුතු මැණික් හා මිල මුදල් ය යන මේ ආදි සත්ත්වයන් ඇලුම් කරන සොයන යමක් වේ නම්, ඒ සියල්ලට ම ‘කාමය’ යි කියනු ලැබේ. ඒ සියල්ල රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන පසට ඇතුළු කොට ‘පඤ්චකාමය’ යි කියනු ලැබේ. එක් අතෙකින් මේ පඤ්ච කාමය ඉතා ආස්වාදනීය දෙයකි. තවත් අතෙකින් ඒ පඤ්චකාමය සත්ත්වයන්ට ඇති මහත් ම නපුර ද වේ.
සසර කලකිරී මහත් පරිත්‍යාගයන් කොට බුදු සස්නෙහි පැවිදි වන කුලපුත්‍රයන්ට පසු කලකදී ශාසනයෙන් බැහැර වීමට හේතු වන්නේ ද, පැවිදි ව සිට ගෙන නොයෙකුත් දුෂ්ප්‍රතිපත්වලට යෙදෙන්නට හේතු වන්නේ ද මේ පඤ්ච කාමය ම ය. වරක් පඤ්ච කාමාශාව දුරු කොට පැවිදි වුව ද සිහියෙන් යුක්ත නො වන කාමයන් ගේ ආදීනවය නැවත නැවත සිහි නො කරන පැවිද්දන්ට අත්හළ කාමය ගැන නැවත ආශාව ඇති වී සිවුරු හැර යන්නට සිදුවිය හැකි ය. ශාසනය තුළ සිට ගෙන දුෂ්ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට ද සිදු විය හැකි ය. එසේ නො වනු පිණිස පැවිද්දන් විසින් කාමයන් ගේ ආදීනවය හොඳින් දැන ගත යුතු ය. වරින් වර එය සිහි කළ යුතු ය. කාමයන් ගේ ආදීනවය තථාගතයන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේ ය.
“අප්පස්සාදා කමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා ආදීනවෝ එත්ථ භීය්‍යො.”
අට්ඨිකංකලූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, මංසපේසූපමා කාමා -පෙ- තිණුක්කූපමා කාමා -පෙ- අංගාරකාසූපමා කාමා -පෙ- සුපිනකූපමා කාමා -පෙ- යාචිතකූපමා කාමා -පෙ- රුක්ඛඵලූපමා කාමා -පෙ- අසිසූනුපමා කාමා -පෙ- සත්තිසූලූපමා කාමා -පෙ- සප්පිරූපමා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහූපායාසා ආදීනවෝ එත්ථ භීය්‍යෝ”
(මජ්ඣිමනිකාය අලගද්දූපම සුත්ත)
මේ පාඨයෙහි උපමා දශයකින් කාමයන් ගේ ආදීනවය දක්වා තිබේ.
අට්ඨිකංකලූපමා කාමා. ‘කාමයෝ ලේ මස් නැති ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තෝ ය’ යනු එහි තේරුම යි. සාගින්නෙන් පීඩිත බල්ලකු ආහාරාශාවෙන් මස්කඩයක් සමීපයේ බලා ඉන්නා කල්හි, ලේ මස් නැති ඇට කැබැල්ලක් කඩයෙන් ඉවත දැමුව හොත් ඌ එය අවුලා ගෙන සපන්නට පටන් ගන්නේ ය. ඇට කැබෙල්ල කොතෙක් සැපුව ද එයින් උගේ සාගින්න නො සන්සිඳේ. වන්නේ වෙහෙසට පත්වීමෙන් තවත් සාගින්න වැඩි වීම ය. එමෙන් කාමාශාවෙන් කාම පිපාසාවෙන් පීඩිත ව කාමයන් සොයන තැනැත්තා ගේ ඒ කාම පිපාසාව කොතෙක් ආහාර පාන වස්ත්‍රාදි කාමවස්තූන් ලබා කොතෙක් කම් රස අනුභව කළේ ද නො සන්සිඳේ. ඔහුට කිසි කලෙක සෑහීමක් නො වේ. කාමයන් ලබත් ලබත් ම කම් සැප විඳිත් විඳිත් ම එයින් ඔහුගේ කාම පිපාසාව තව තවත් වැඩේ. බල්ලා සුඛිතභාවයට පත් කරන කිසි ම උසස් දෙයක් කිසි ම හරයක් ඒ ලේ මස් නැති ඇට කැබැල්ලෙහි නැතිවාක් මෙන්, කාමවස්තූන් හි සත්ත්වයා තෘප්තියට පත් කරන කිසි හරයක් නැත්තේ ය. “ඕනෑය, ඕනෑය, මදිය, තවත් ඕනෑය තවත් ඕනෑය” කියා මහත් වෙහෙසින් රැස් කරන මේවා “මාගේ ය, මාගේය” කියා සිතින් බදාගෙන ඉන්නා කාමවස්තූහු පුද්ගලයාට තෘප්තියක් ඇති නොකර ම විනාශ වී යති. පුද්ගලයා ද ඒවා බදාගෙන සිටීමෙන් තෘප්තියක් නොලබා ම විනාශයට පැමිණේ. මේ කාමයන් ගේ ස්වභාවය ය. එබැවින් තථාගතයන් වහන්සේ “කාමයෝ ලේ මස් නැති ඇට කැබෙල්ලකට බඳු උපමා ඇතියෝ ය” යි වදාළ සේක.
මංසපේසූපමා කාමා. “බොහෝ දෙනාට සාධාරණ බැවින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තෝ ය” යනු එහි තේරුම ය. ගිජුළිහිණියකු හෝ උකුස්සකු හෝ අන් පක්‍ෂියකු හෝ හොටින් මස් කැටියක් ගෙන පියාසර කළහොත් එය දකින පක්‍ෂීහු ඔහු ලුහු බැඳ ඌට කොටති. එය අතහරින තුරු ඌට නිදහසක් නො ලැබේ. එකකු හළ මස්කැටිය අනිකකු ගත හොත් ඌට ද එසේ ම කොටති. එසේ කොටන්නේ මස්කැටිය බොහෝ දෙනකුන් බලාපොරොත්තු වන දෙයක් බැවිනි. වස්තුව ද මස් කැටිය සේ බොහෝ දෙනකුන් බලාපොරොත්තු වන දෙයකි. එකකු රැස් කර ගෙන - අයත් කර ගෙන සිටින වස්තුව පැහැර ගත හැකි නම් ගැනීමට බලාපොරොත්තු වන්නෝ දහස් ගණනින් - දසදහස් ගණනින් සිටිති. එබැවින් වස්තුව අයත් කර ගෙන ඉන්නා තැනැත්තාට මාගේ වස්තුව රජහු හෝ පැහැර ගනිත් ද, සොරහු හෝ පැහැර ගනිත් ද, සතුරෝ හෝ පැහැර ගනිත් ද, දූ දරුවෝ හෝ පැහැර ගනිත් ද කියා නිරතුරුව බියෙන් කල් යැවීමට සිදු වේ. නිතර ම පරෙස්සම් කරන්නට සිදු වේ. සමහරවිට රෑ නිදි නො ලබා පරෙස්සම් කරන්නට සිදු වේ. ධනය ඇති තාක් ඔහුට සැනසිල්ලක් නො ලැබේ. රැස් කර ගෙන ඉන්නා ධනය නිසා නොයෙක් විට ඊර්ෂ්‍යා කාරයන් ගෙන් නොයෙක් කරදර විඳින්නට සිදු වේ. සොරුන්ගෙන් සතුරන්ගෙන් පීඩා විඳින්නට ද සමහර විට ඒ ධනය නිසා මැරෙන්නට ද සිදු වේ. එ බැවින් තථාගතයන් වහන්සේ ‘කාමයෝ මස් කැටියක් වැනියහ’ යි වදාළ සේක.
තිණුක්කූපමා කාමා. ‘දවන ස්වභාවය ඇති බැවින් කාමයෝ තණසුලකට බඳු උපමා ඇත්තෝ ය’ යනු එහි තේරුම ය. ගිනි දැල්වෙන තණ සුලක් අතින් ගෙන සිටින්නහු විසින් එය නො හළ හොත් අත දැවී ඒකාන්තයෙන් ඔහු දුකට පත් වන්නේ ය. වස්තුව රැස් කර ගෙන සිටින තැනැත්තාහට එය නො හළ හොත් ඒකාන්තයෙන් දුකට පත්වන්නට සිදු වේ. තණ්හාවෙන් අයත් කර ගෙන සිටින්නා වූ වස්තුවෙන් වෙන් වීම වස්තු හිමියාට දුකෙකි. වස්තුව කෙසේ පරෙස්සම් කරමින් සිටියත් ඒ වස්තුව නැති වී යෑමෙන් හෝ මරණයෙන් හෝ වස්තු හිමියා එයින් ඒකාන්තයෙන් වෙන් වන්නේ ය. එබැවින් ඒ දුක තණසුල නො හැර සිටින්නහුට මෙන් වස්තුව නො හැර සිටින්නහුට ඒකාන්තයෙන් ඇති වේ. සමහර විට සොර සතුරු පීඩාවලින් ද බොහෝ දුක් ඇතිවේ. ‘කාමයෝ අතට ගත් තණසුලක් බඳුයහ’ යි වදාළේ එහෙයිනි.
අංගාරකාසූපමා කාමා. ‘කාමයෝ දුම් නැති ගිනිදලු නැති මහගිනි අඟරු වළකට බඳු උපමා ඇත්තාහ’ යනු එහි තේරුම යි. ගැඹුරෙන් සතර රියනක් පමණ වන ගිනි දලු හා දුම් නැති ගිනි අඟුරෙන් පිරි වළක් වේ නම් එහි මහා රස්නයක් ඇත්තේ ය. එහි යමක් වැටුණ හොත් ගිනි රස්නයෙන් බැදී කරවී යන්නේ ය. කාමයන් පිළිබඳ ව ඇති වන්නා වූ තද ආශාවත් එබඳු ම රස්නයකි. ඇතැමුන් තමන්ට ඇති වූ කාමාශාවල් සම්පූර්ණ කර ගන්නට නො හැකි වූ විට දිවි නසා ගන්නේ එයින් වන තැවීම් නො ඉවසිය හැකි වීමෙනි.
සුපිණකූපමා කාමා. ‘කාමයෝ රෑ දුටු ස්වප්නයක් වැනියහ’ යනු එහි තේරුම ය. ස්වප්නයෙන් කිනම් වස්තුවක් ලදත්, කිනම් සම්පත්තියක් ලදත් ඒවා ඇත්තේ සිහිනය දකිමින් ඉන්නා අවස්ථාවෙහි පමණෙකි. අවදි වූ පසු ඒවායින් කිසිවක් නැත. එමෙන් කාමවස්තූන් නිසා ලබන සෝමනස්සයත් ප්‍රීතියත් ඇත්තේ ඒ වේලාවට පමණෙකි. ඇසිල්ලකින් එය නැති වෙයි. එක් එක් පුද්ගලයකු විසින් බොහෝ වෙහෙසී කාම වස්තූන් සපයා ඒවා නිසා අතීතයෙහි බොහෝ වාරවල ප්‍රීති සොම්නස් ලබා ඇත. අද ඒවායින් කිසිවක් ඉතිරි වී නැත. දැන් ලබන ප්‍රීති සොම්නස්වල හා අනාගතයෙහි ලබන ප්‍රීති සොම්නස්වල ඉරණමත් එයම ය. ලබා ගන්නා කාමවස්තු ද එසේ ම ක්ෂය වී යන්නේ ය. එක් එක් පුද්ගලයකු ගේ අතීත සංසාරය ගැන සලකා බලතහොත් එකකු විසින් රැස් කළ ධනයෙහි ප්‍රමාණයක් නැති බවත්, පෝෂණය කළ අඹු දරුවන්ගේ ප්‍රමාණයක් නැති බවත් කිය යුතු ය. අද ඒවායින් කිසිවක් නැත. අද රැස් කරගෙන ඉන්නා ධනයේත්, අද ආදරයෙන් පෝෂණය කරන අඹුදරුවන්ගේත් ඉරණම ද එයම ය. එබැවින් තථාගතයන් වහන්සේ ‘තාවකාලිකත්වයෙන් කාමයෝ ස්වප්නයක් බඳුහ’ යි වදාළ සේක.
යාචීතකූපමා කාමා. ‘කාමයෝ අනුන්ගෙන් තාවකාලික වශයෙන් ඉල්ලා ගත් දේවල් බඳුයහ’ තාවකාලික වශයෙන් අනුන්ගෙන් ඇඳුම් පැළඳුම් ඉල්ලා ඇඳ පැළඳ සිටින තැනැත්තා ඒ වේලාවට මහ පොහොසතකු සේ පෙනේ. ඇසිල්ලකින් ඒවා ආපසු හිමියන් ගත් කල්හි ඔහුට කිසිවක් නැත. මඳ කලක දී නැති වී යන කාමයෝ ද අනුන් ගෙන් ගත් බඩු වැනි ය.
රුක්ඛඵලූපමා කාමා. ‘කාමයෝ පල දරන ගසකට බඳු උපමා ඇත්තේ ය.’ වනයෙහි පල දරන ගසකට නැඟ එකකු පල නෙළා කමින් සිටියදී පල සොයා ආ ගස් යන්නට නො දත් අනිකකු ඒ ගස කපන්නට පටන් ගත් කල්හි ගසෙහි ඉන්නා තැනැත්තා වහා නො බව හොත් ගසත් සමග වැටී ඔහුගේ අත් පා හෝ බිඳෙන්නේ ය. ඔහු මරණයට හෝ පැමිණෙන්නේ ය. එමෙන් කාමයන් නො හැර අල්ලා ගෙන ඉන්නා තැනැත්තා ඒ කාමයන් නිසා නොයෙක් විට මරණයට හෝ මහ දුක්වලට පත් වන්නේ ය.
අසිසූනූපමා කාමා. ‘කාමයෝ කඩුවකට, මස් කපන කොටයකට බඳු උපමා ඇත්තාහ.’ කඩුව හා කොටය නිසා මස් කැපී යන්නාක් මෙන් ඔවුනොවුන් කෝලාහල කර ගැනීම් ආදියෙන් කාමයන් නිසා සත්ත්වයෝ මහත් විනාශයට පැමිණෙන්නාහ.
සත්තිසූලූපමා කාමා. ‘කාමයෝ පිහියක හෝ කිනිස්සක උලට බඳු උපමා ඇත්තාහ.’ පිහියාවල කිනිසිවල හුලෙන් ශරීර සිදුරු කරන්නාක් මෙන් කාමයෝ ද සත්ත්වයන්ගේ සිත් සිදුරු කරති.
සප්පසිරූපමා කාමා. ‘කාමයෝ සර්පහිසකට බඳු උපමා ඇත්තාහ’ සර්ප හිස භයානක දෙයක් වන්නාක් මෙන් ම අනේක දුඃඛයන්ට හේතු වන බැවින් කාමයෝ ද භයානකයහ. එබැවින් තථාගතයන් වහන්සේ කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහයි වදාළ සේක.
මධ්‍යම නිකායේ චූලදුඃඛස්කන්ධ මහාදුඃඛස්කන්ධ සූත්‍ර දෙක්හි කාමයන්ගේ බොහෝ ආදීනව විස්තර වශයෙන් වදාරා ඇත්තේ ය. ඒ සූත්‍ර ධර්ම බලා ගැනීම ද පැවිද්දන්ට ඉතා ප්‍රයෝජන ය. ග්‍රන්ථය මහත් වන බැවින් ඒ සූත්‍ර මෙහි නො දක්වනු ලැබේ. මේ ගාථා භාවිතය ද ප්‍රයෝජනවත් ය.
1. චාතුද්දීපෝ රාජා
මන්ධාතා ආසි කාමභෝගීනමග්ගෝ,
අතිත්තෝ කාලංකතෝ
න තස්ස පරිපූරතා ඉච්ඡා.
-
2. සත්තරතනානි වස්සෙය්‍ය
වුට්ඨිමා දසදිසා සමන්තේන,
න චත්ථි තිත්ති කාමානං
අතිත්තාව මරන්ති නරා.
-
3. අසීසූනූපමා කාමා කාමා සප්පසිරොපමා,
උක්කොපමා අනුදහන්ති අට්ටිකංකල සන්නිභා
-
4. අනිච්ඡා අද්ධුවා කාමා බහුදුක්ඛා මහාවිසා,
අයොගුළෝව සන්තත්තො අඝමූලා දුඛප්ඵලා
-
5. රුක්ඛඵලූපමා කාමා මංසපෙසූපමා දුඛා,
සුපිනෝපමා වඤ්චනියා කාමා යාචිතකූපමා
-
6. සත්තිසූලුපමා කාමා රොගො ගණ්ඩො අඝං නිඝං,
අංගාරකාසු සදිසා අඝමූලං භයං වධො.
(සුමේධාථෙරි ගාථා)
තේරුම :-
1. ද්වීප සතරට ම අධිපති කාමභෝගීන්ගෙන් අග්‍ර මන්ධාතු නම් රජෙක් විය. ඔහු ද කාමයන්ගෙන් තෘප්තියක් නො ලබා ම කළුරිය කෙළේ ය. ඔහුගේ ආශාව නො පිරුණේ ය. මන්ධාතු රජ සුවාසු දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා වශයෙන් ද, සුවාසූ දහසක් අවුරුදු යුවරජු වශයෙන් ද සුවාසූ දහසක් අවුරුදු චක්‍රවර්තී රජව ද මිනිස්ලොව කම් සැප විඳ සතියක් ශක්‍රයන්ගේ ආයුකාලයෙහි දෙව් ලොව දිව්‍යකාම සම්පත් ද විඳ කාමයන්හි තෘප්තියකට නො පැමිණ ම දිවි කෙළවර කෙළේ ය.
2. හාත්පස දශ දිශාවෙහි ම රුවන් වැසි වට ද සත්ත්වයාට කාමයන් ගැන තෘප්තියට පැමිණීමක් නො වේ. මනුෂ්‍යයෝ තෘප්තියට නො පැමිණ ම මැරෙන්නාහ. ඉතිරි ගාථා සතරෙහි අර්ථ සුගම බැවින් නො දක්වනු ලැබේ.
පෙර විසූ පැවිද්දන් කාමයන් කොතරම් භයානක දේ වශයෙන් සලකන ලද ද යන බව භිස ජාතකයෙන් දත හැකි ය.
ඒ මෙසේ ය:-
එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක උපන්හ. ‘මහා කඤ්චන’ කුමාරයෝ යැයි උන්වහන්සේට නම තැබූහ. උන්වහන්සේට බාල සහෝදරයන් සදෙනෙක් ද සහෝදරියක් ද වූහ. කාමයන් කෙරෙහි නො ඇලුණා වූ ඔවුහු විවාහ ජීවිතයකට බැස නො ගත්හ. ඔවුහු මා පියන් ජීවත්වන තාක් ඔවුනට උපස්ථාන කරමින් සිට, මා පියන් ඇවෑමෙන් ඔවුනට හිමි වූ අසූ කෙළක් ධනය දුගී මගී යාචකයන්ට දන් දී, තපස්කම් කරනු පිණිස සැම දෙන ම හිමාලය වනයට ගියහ. දාසියක් හා දාසයෙක් ද යහළුවෙක් ද ඔවුන් හා ගියෝ ය. පිරිස එකොළොස් දෙනෙක් වූහ. ඔවුහු හිමාලයෙහි එක් විලක් සමීපයේ මනරම් තැනක පන්සලක් කර ගෙන සැම දෙන ම පැවිදි ව මහාබෝසතාණන් වහන්සේගේ අවවාදානුශාසනය පරිදි මහණදම් පුරන්නට වන්හ. ඵලාඵල පිණිස වනයට යන කල්හි ඔවුහු සමූහ වශයෙන් ගොස් ඇසූ දුටු දෑ සම්බන්ධයෙන් කථා කරමින් පල වැල නෙළන්නට වීමෙන් ඒ වනය ද ගමක් වැනි විය. ඒ බව දුටු බෝසතාණන් වහන්සේ අසූ කෙළක් ධනය හැර පියා ආ අපට මේ වනයෙහි මෙසේ ලෝභයෙන් පල වැල සෙවීම නො හොබනේ ය. සෙස්සන්ට මෙහි ම මහණදම් පුරන්නට හැර මම වනයට ගොස් හැම දෙනාට ම පල වැල නෙළාගෙන එමි යි සිතා සවස් කාලයේ දී සැම දෙනා ම රැස් කරවා ඒ බව ඔවුන්ට දැනුම් දුන්හ.
එකල්හි සෙස්සෝ කියන්නාහු, “ආචාර්‍ය්‍යයන් වහන්ස, අපි නුඹ වහන්සේ නිසා පැවිදි වූවෝ වෙමු. නුඹ වහන්සේ මෙහි ම මහණදම් පුරමින් වැඩ සිටින සේක්වා, නැගණිය ද මෙහි ම සිටීවා, දාසිය ද නැගණිය වෙත වෙසේවා, අපි අටදෙන වාරයෙන් වාරය ගොස් පලවැල සොයා එන්නෙමුය” යි කියා, මහබෝසතාණන් වහන්සේ ගිවිස්වා එතැන් පටන් එසේ කරන්නට පටන් ගත්හ. වාරය පැමිණි තැනැත්තා වනයට ගොස් පල වැල සොයා අවුත් ගල් පුවරුවක් මත එකොළොස් කොටසකට බෙදා තබා, ගෙඩිය ගසා, තමාගේ කොටස ගෙන යන්නේ ය. සෙස්සෝ ද අවුත් තම තමන්ගේ කොටස් ගෙන තම තමන් වසන තැන්වලට ගොස් වළඳා මහණදම් පුරති. පසු කලකදී ඒ තාපසවරු පල වැල සෙවීමත් නවත්වා එක් විලකින් නෙළුම් අල ගෙනැවිත් වළඳමින් ධ්‍යාන භාවනා කරන්නට පටන් ගත්හ.
උන්වහන්සේලා ගේ ශීල තේජසින් ශක්‍ර භවන ද සැලිණ. ශක්‍රයා ද උන්වහන්සේලා ගැන විමසිල්ලෙන් විසී. අභ්‍යන්තරයෙහි පවත්නා දුර්ගුණයක් ක්‍රියාකාරී භාවයට පැමිණීමේ කාරණයක් නැති ව සිටින කල්හි සැම දෙන ම ගුණවන්තයෝ ය. කෙනකුගේ හොඳ නරක බව, දුර්ගුණ ඇති නැති බව, තේරුම් ගත හැකි වන්නේ ආභ්‍යන්තරික දුර්ගුණ එළි බහින කරුණු ඇති වන කල්හි ය. අරණ්‍යවල එබඳු කරුණු අඩු ය. එබැවින් ආරණ්‍යකයන්ගේ ගුණාගුණ දැන ගැනීමට දුෂ්කර ය. සක්දෙව් රජු ඒ තවුසන් විමසනු පිණිස එළි බසින්නට කරුණු නැති කල්හි සැඟවී තිබෙන ඇතැම් දුර්ගුණ එළි බසින වැඩක් කෙළේ ය. එනම් මහබෝසතාණන් වහන්සේට තැබූ නෙළුම් අල කොටස පිට පිට තෙදිනක ම සැඟවීම ය.
පළමුවන දිනයේ ගෙඩියේ හඬ අසා මහබෝසතාණන් වහන්සේ පලවැල බෙදා තබන තැනට ගොස් බැලූ කල්හි තමන් වහන්සේගේ කොටස නො දුටහ. උන්වහන්සේ එදින තමන් වහන්සේට කොටසක් තබන්නට අමතක වන්නට ඇතය’ යි සිතා තුෂ්ණීම්භූත වූහ. දෙවන දවසේදී ද කොටස නො ලැබූ බෝසතාණෝ “මාගේ යම්කිසි වරදකින් කොටස නො තබති” යි සිතූහ. තුන්වන දවසේදී ද කොටස නො ලැබ, වරදක් ඇතහොත් ක්ෂමා කරවා ගනිමි’ යි සිතා, සවස් කාලයේ දී ගෙඩිය ගසා පිරිස රැස් කරවා, කාරණය පිරිසට දන්වා, ඒ ඒ දිනවල පලවැල නෙලීමට ගියවුන්ගෙන් තමන් වහන්සේට කොටස නොතැබීමේ හේතු විචාළහ. සියල්ලෝ ම ඒ ඒ දිනවල බෝසතාණන් වහන්සේට කොටස තැබූ බව කීහ. එකල්හි බෝසතාණන් වහන්සේ කියන සේක් : “මේ පින්වත්හු මාගේ කොටස තැබූ බව කියන්නහුය. මට නම් එය නො ලැබුණේ ය. එසේ වීමට මෙහි සොරකු විය යුතු ය. පැවිද්දන්ට මෙවැනි වැඩ නුසුදුසු ය. මෙය කළ තැනැත්තා කවරේදැ යි දත යුතුය” යි කීහ. පැවිදි පිරිසක් අතර මෙබඳු නොමනා දෙයක් සිදුවීම ගැන සැම දෙනා වහන්සේ ම මහත් සංවේගයට පැමිණියෝ ය. සක් දෙවිඳු ද තාපස වරුන්ගේ පුවත් විමසනු පිණිස එහි පැමිණ නොපෙනී සිටියේ ය.
එකෙණෙහි බෝසතාණන් වහන්සේ ගේ දෙටු සොහොයුරු උපකඤ්චන තාපසයෝ නැඟිට බෝසතාණන් වහන්සේට වැඳ තමන්ගේ ශුද්ධිය පැවසීමට අවසර ගෙන මෙසේ ශාප කළහ.
“අස්සං ගවං රජතං ජාතරූපං
භරියඤ්ච සෝ ඉධ ලභතං මනාපං
පුත්තේහි දාරේහි සමංගි හෝතු
භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද හෙතෙමේ අශ්වයන් ද ගවයන් ද රිදී ද රන් ද මනාප මනාප භාර්‍ය්‍යාවන් ද ලබාවා; අඹු දරුවන් ගෙන් යුක්ත වේවා” ය යනු එහි තේරුම යි.
අශ්ව ගවාදි ප්‍රිය වස්තූන් නිසා ඒවාට ඇලුම් කරන තැනැත්තේ යම් පමණ මහත් සතුටක් ලබා ද, හේ ඒවා නැතිවීමෙන් පසුව එ පමණට හෝ එයට වඩා මහත් වූ හෝ ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් ලබන්නේ ය. එය ප්‍රිය වස්තූන් නිසා සිදුවන එක් නපුරෙකි. ඒවා නිසා සිදුවන තවත් දුක් බොහෝ ය. තාපසයන් වහන්සේ සොරා අශ්වගවා දි කාමයන් ලබාවායි ශාප කළේ එහෙයිනි. ඒ තාපසවරුන්ගේ සැලකීමේ හැටියට ඒවා ලබා ගෙන සිටීමට වඩා තවත් නපුරක් නැත. එය අසා ගෙන සිටි සෙස්සෝ “පින්වත, එසේ නො කියනු මැනව; ඔබගේ ශාපය ඉතා දරුණුය” යි කියා කන්වල ඇඟිලි ගසා ගත්හ. එතුමා ශාප කොට තමා ගේ පිරිසිදු බව ප්‍රකාශ කොට හිඳ ගත් පසු දෙවන සහෝදර තාපසයෝ ද තමන් ගේ පාරිශුද්ධිය දැක්වීම සඳහා මෙසේ ශාප කළෝ ය.
“මාලඤ්ච සෝ කාසිකචන්දනඤ්ච
ධාරේතු පුත්තාස්ස බහූ භවන්තු,
කාමේසු තිබ්බං කුරුතං අපෙක්ඛං
භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි”
බ්‍රාහ්මණය, යමෙක් ඔබ ගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද හේ මල් ද කශීරට සඳුන් ද දරාවා; ඔහුට දරුවෝ බොහෝ වෙත්වා; කාමයන් ගැන තියුණු ඇල්මක් ඔහුට වේවා ය” යනු එහි තේරුම යි. අනතුරුව සෙස්සෝ ද තම තමන්ට අභිමත පරිදි මතු දක්වන පරිදි ශාප කළහ.
“පහූත ධඤ්ඤෝ කසිමා යසස්සී
පුත්තේ ගිහී ධනිමා සබ්බකාමෝ,
වයං අපස්සං ඝරමාවසාතු
භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල කොටස සොරා ගත්තේ ද හේ බොහෝ ධනය ඇති කීර්තිමත් ගොවියෙක් වේවා. බොහෝ පුත්‍රයන් ලබාවා. ගිහියෙක් වේවා, බොහෝ ධනය ඇත්තේ වේවා, රූපාදි සකල කාමයන් ඇත්තේ වේවා, වයස ගැන නො බලා මහලු කල ද ගිහිකම් කරන්නෙක් වේවා” යනු එහි තේරුම යි.
“සෝ ඛත්තියෝ හෝතු පසය්හකාරී
රාජාභිරාජා බලවා යසස්සී,
ස චාතුරන්තං මහිමා වසාතු
භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද හේ අනුන් පෙළන්නා වූ ක්ෂත්‍රියයෙක් වේවා, බලවත් වූ කීර්තිමත් වූ රාජාධිරාජයෙක් වේවා, හෙතෙමේ සියලු පොළොවට අධිපති වේවා” යි යනු එහි තේරුම යි.
“සෝ බ්‍රාහ්මණෝ හෝතු අවීතරාගෝ
මුහුත්ත නක්ඛත්ත පථෙසු යුත්තෝ,
පූජේතු නං රට්ඨපතී යසස්සී
භිසානි තේ බ්‍රාහ්මණ යෝ අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබ ගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද හේ නැකැත් දන්නා වූ රාග සහිත වූ බ්‍රාහ්මණයෙක් වේවා, යසස් ඇත්තා වූ රජ ඔහු මුදාවා.”
“අජ්ඣායකං සබ්බ සමත්තවේදං
තපස්සිනං මඤ්ඤතු සබ්බ ලෝකෝ,
පූජේතු නං ජානපදා සමෙච්ච
භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබ ගේ නෙළුම් අල කොටස ගත්තේ ද, හේ සියලු වේදන හදාරන එකෙක් වේවා. සකල ලෝකයා ඔහු සිල්වතෙක්ය යි සිතාවා. ජනපද වැසියෝ එක්ව ඔහු පුදාවා.
“චතුස්සදං ගාමවරං සමිද්ධං
දින්නං හි සෝ භුඤ්ජති වාසවේන,
අවීතරාගෝ මරණං උපේතු,
භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ මිනිසුන් ද, ධනය ද, දර ද, දිය ද යන මේ සතර උත්සන්න වූ ශක්‍රයා විසින් තෑගි කරන ලද්දක් බඳු වූ සමෘද්ධ ගමක් භුක්ති විඳීවා. එහි ආලය දුරු කර නො ගෙන මරණයට පැමිණෙත්වා!”
“සෝ ගාමිණී හෝතු සහාය මජ්ඣෙ
නච්චේහි ගීතේහි පමෝදමානෝ,
මා රාජතෝ ව්‍යසන මලත්ථ කිඤ්චි
භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබ ගේ නෙළුම් අල පැහැර ගත්තේ ද හේ ගම් ප්‍රධානයෙක් වේවා, යහළුවන් මැද ගී නැටුම්වලින් සතුටු වී සිටින්නෙක් වේවා. හේ රජුගෙන් කිසි ව්‍යසනයක් නො ලබාවා.
නැගණියගේ ශාපය මෙසේ ය:
“යං ඒකරාජා පඨවිං විජෙත්වා
ඉත්ථි සහස්සස්ස ඨපේතු අග්ගං
සීමන්තිනීනං පවරා භවාතු,
භිසානි තේ බ්‍රාහ්මණ, යා අහාසි”
“බ්‍රාහ්මණය, යම් ස්ත්‍රියක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තී ද, ඇය මුළු පොළොව දිනූ අග රජ තෙමේ සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍රධාන කොට තබා ගනීවා! ඕ තොමෝ ස්ත්‍රීන්ට අග්‍ර වේවා!
ඉක්බිති දාසිය ද මෙසේ ශාප කළා ය.
“ඉසිනං හි සා සබ්බසමාගතානං
භුඤ්ජෙය්‍ය සාදුං අවිකම්පමානා,
චරාතු ලාභේන විකත්ථමානා
භිසානි තේ බ්‍රාහ්මණ, යා අහාසි.”
“බ්‍රාහ්මණය, නුඹ වහන්සේගේ නෙළුම් අල යම් තැනැත්තියක් පැහැර ගත්තී ද, ඕ තොමෝ එක් රැස් වූ තාපසවරුන් මැද හිඳ, කිසි පැකිළීමක් නැතිව උතුම් රසය අනුභව කරාවා. ලාභය නිසා කුහකකම් කරාවා.” යනු එහි තේරුම යි.
දාසිය මෙසේ ශාප කරන ලදුයේ හිමියන් ඉදිරියේ ආහාර වැළඳීම දාසිදාසයනට ඉතාම අප්‍රිය වැඩක් බැවිනි. එ තැනට පැමිණ සිටි අසපුවේ දෙටු රුකේ දෙවියා ද මෙසේ ශාප කෙළේ ය.
“ආවාසිකෝ හෝතු මහා විහාරේ
නවකම්මිකෝ හෝතු කජංගලායං,
ආලෝක සන්ධිං දිවසා කරෝතු
භිසානි තේ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ ලොකු පන්සලක වාසය කරන්නේ වේවා. කජංගලා නම් නගරයෙහි නවකම් කරන්නේ වේවා. එක් දිනකින් කවුළුවක වැඩ අවසන් කරන්නේ වේවා” යනු එහි තේරුම යි.
ඒ දෙවියා කසුප් බුදුන් සමයෙහි කජංගලා නම් නගරයෙක පරණ මහ පන්සලක අධිපතියකු වී එහි ප්‍රතිසංස්කරණ වැඩ කිරීමෙන් බොහෝ දුක් විඳ ඇති බැවින් එය සිහි කොට එසේ ශාප කෙළේ ය. කලක් මිනිසුන්ට හසු වී සිට ඔවුන්ගෙන් මිදී වනයට ඇවිත් සිටින ඇතෙක් ද කලින් කල එහි පැමිණ තාපසවරුන්ට වඳින්නේ ය. ඌ ද මේ වේලාවේ එහි ඇවිත් සිට මෙසේ ශාප කෙළේ ය.
“සෝ බජ්ඣතං පාසසතේහි ඡම්භි
රම්මා වනා නීය්‍යතු රාජධානිං
තුත්තේහි සෝ හඤ්ඤතු පාචනේහි
භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි”
“බ්‍රාහ්මණය, ඔබ තුමා ගේ නෙළුම් අල යමෙක් පැහැර ගත්තේ ද හේ බොහෝ පාසයන්නේ සය තැනින් බඳිනු ලබාවා. සිත්කළු වනයෙන් රාජධානියකට ගෙන යනු ලබාවා. කනමුල විදිනා කටුවලින් හා කෙවිටිවලින් විදිනු ලබාවා.
එහි අහිගුණ්ටිකයකු ගේ අතින් මිදී පලා ආ රිළවෙක් ද විය. ඌ ද මෙසේ ශාප කෙළේ ය.
“අලක්කමාලී තිපුකණ්ණ විද්ධෝ
ලට්ඨිහතෝ සප්පමුඛං උපේතු,
සක්කච්ච බද්ධෝ විසිඛං චරාතු
භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබ ගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද ඔහුට ගෙළ එළවරාමාලය පළඳවන ලදුව කනෙහි ඊයම් අබරණ පළඳවන ලදුව කෝටුවලින් තළනු ලබමින් සර්පයාගේ ඉදිරියට යන්නට සිදු වේවාය” යනු එහි තේරුම යි.
රිළවා මේ කියන්නේ අහිගුණ්ටිකයාට හසු වී සිටි කාලයේ දී විඳින්නට සිදු වූ දුක ගැන ය. මෙසේ ඒ තෙළෙස් දෙනා ම ශාප කොට අවසන් වූ කල්හි මහා බෝසතාණන් වහන්සේ නෙළුම් අල කොටස නැති වී ය යි බොරු චෝදනාවක් කළහ යි සෙස්සන් තමන් වහන්සේ ගැන සිතති යි තමන් වහන්සේ ගේ ශුද්ධිය පැවසීම් වශයෙන් මෙසේ ශාප කළහ.
“යෝ චේ අනට්ඨං නට්ඨන්ති චාහ
කාමේ ච සෝ ලභතං භුඤ්ජතඤ්ච
අගාරමජ්ඣෙ මරණං උපේතු
යෝ වා භොන්තෝ සංකති කිඤ්චිදේව”
“පින්වත්නි, යමෙක් නැති නොවූ තමාගේ ආහාර කොටස නැති වූයේ ය යි කියා නම් හෙතෙමේ රූපාදී කාමයන් ලබාවා, කාමයන් පරිභෝග කෙරේවා, ගිහි ගෙයි ම මැරෙන්නට සිදු වේවා” යනු එහි තේරුම යි.
මෙසේ තවුසන් විසින් සාප කළ කල්හි ශක්‍රයා බිය වී මේ තාපසයන් වහන්සේලා ලෝකයා විසින් උතුම් කොට සලකනු ලබන කාමයන්ට නින්දා කරති. එහි කාරණය විමසිය යුතු ය යි පෙනෙන්නට අවුත් බෝසතාණන් වහන්සේට වැඳ, ස්වාමීනි, ලෝකයෙහි සත්ත්වයෝ නොයෙක් අයුරෙන් වෙහෙසී කාමයන් සොයති. කාමයෝ බොහෝ දෙනට ඉතා ප්‍රිය වෙති. ඒ කාමයන්ට කිනම් කරුණකින් තාපසයන් වහන්සේලා මෙසේ නින්දා කෙරෙත් දැ යි විචාළේ ය. බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක.
“කාමේසු වේ හඤ්ඤරේ බජ්ඣරේ ච
කාමේසු දුක්ඛඤ්ච භයඤ්ච ජාතං
කාමේසු භූතාධිපතී පමත්තා
පාපානි කම්මානි කරොන්ති මෝහා.
-
තේ පාපධම්මා පසවෙත්වා පාපං
කායස්ස භේදා නිරයං වජන්ති,
ආදීනවං කාම ගුණේසු දිස්වා
තස්මා ඉසයො නප්පසංසන්ති කාමෙ.”
“ශක්‍රය කාමයන් නිසා දඬු මුගුරු ආදියෙන් පහර දෙනු ලබති. බඳිනු ලබති. කාමයන් නිසා කායික මානසික දුක්ඛය ද, අත්තානුවාදාදී භය ද ඇති වේ. කාමයන් කෙරෙහි මුළා වූ සත්ත්වයෝ මෝහයෙන් පව්කම් කරති. ඔවුහු පව් රැස් කොට මරණින් මතු නරකයට යෙති. කාමයන්හි දෝෂය දක්නා බැවින් සෘෂීහු කාමයන්ට ප්‍රශංසා නො කෙරෙති” ය යනු එහි තේරුම යි.
ශක්‍රයා තමා කළ වරද ගැන තාපසවරුන්ගෙන් ක්ෂමාව ගෙන දෙව් ලොවට ගියේ ය. තාපස සමූහයා ද ධ්‍යාන වඩා බඹලොවට ගියෝ ය.
සියලු ගංගා ඇළදොලවලින් මහාසාගරයට පිවිසෙන්නා වූ ජලය ඒවාට පළමු තුබූ නම් අහෝසි වී සාගරය ම වන්නාක් මෙන්, නොයෙක් රටවලින් නොයෙක් ජාතිවලින් නොයෙක් කුලගොත්වලින් බුදුසස්නෙහි පැවිදි වන සියලු ම කුල පුත්‍රයෝ පැවිදි වීමෙන් පසු ඔවුන්ගේ පළමු නම් ගොත් අහෝසි වී බුද්ධපුත්‍රයෝ වෙති. ඉන්පසු ඔවුහු බුදුරජාණන් වහන්සේ ගේ දායාදයට උරුමක්කාරයෝ වෙති.
‘ධර්ම දායාදය, ආමිෂ දායාදය’ යි බුදුන් වහන්සේගෙන් ලැබෙන දායාද දෙකකි. ධර්මදායාදය ද ‘නිෂ්පර්යාය ධර්ම දායාදය, පර්යාය ධර්මදායාදය’ යි දෙපරිදි වේ. සතර මාර්ගය සතර ඵලය නිර්වාණය යන නවලෝකෝත්තර ධර්මය තථාගතයන් වහන්සේගේ ‘නිෂ්පර්යාය ධර්මදායාදය’ ය. ඒ නවලෝකෝත්තර ධර්මයට පැමිණීමට එය ලැබීමට උපකාර වන නිවන් පතා කරන දාන ශීලාදි කුශලයෝ පර්යාය ධර්ම දායාදය ය. සත්ත්වයනට ඒ නවලෝකෝත්තර ධර්මයන් ලැබිය හැක්කේ තථාගතයන් වහන්සේ ඒවා පළමුවෙන් සොයා ගෙන දැන ගෙන ශ්‍රාවකයනට දේශනය කළ නිසා ය. නො එසේ වී නම් කිසිවකුට ඒ ධර්මවලට පැමිණීම තබා ඒවා ඇති බව වත් දැනගන්නට නොලැබෙන්නේ ය. තථාගතයන් වහන්සේ විසින් සොයා දුන් දෙයක් වන බැවින් ඒ මාර්ග ඵල නිර්වාණ සංඛ්‍යාත ධර්මය උන්වහන්සේගෙන් ලැබෙන දායාදයෙකි. පර්‍ය්‍යාය ධර්මය වන නිවන් ලබන කුශලයත් තථාගතයන් වහන්සේ විසින් ම සොයා ගන්නා ලද්දක් වන බැවින් උන්වහන්සේගෙන් ම ලැබෙන දායාදයකි.
ආමිෂදායාදය ද ‘නිෂ්පර්‍ය්‍යාය ආමිෂදායාදය - පර්‍ය්‍යායආමිෂදායාදය’ යි දෙපරිදි වේ. එයින් පර්‍ය්‍යාය ආමිෂදායාදය නම් පැවිද්දනට ලැබෙන චීවර පිණ්ඩපාත සේනාසන ග්ලානප්‍රත්‍යය යන සිවුපසය ය. භික්ෂූන්ට එය ලැබෙන්නේ තථාගතයන් වහන්සේ විසින් ඒවා ලැබෙන ක්‍රමය යොදන ලද බැවිනි. එබැවින් සිවුපසය ද තථාගතයන් වහන්සේ ගෙන් ලැබෙන දායාදයක් වෙයි. ඇතැමෙක් භව සම්පත්තිය පතා දන් දී සිල් පුරා භාවනා කොට දෙව් මිනිස් සම්පත් ලබති. එසේ ලබන දේව මානුෂික සම්පත්තිය නිෂ්පර්යාය ආමිෂදායාදය ය. බුදුන් වහන්සේ විසින් දේශිත මාර්ගයෙන් ලබන බැවින් ඒ දේව මානුෂික සම්පත්තිය උන්වහන්සේගෙන් ලැබෙන දායාදයෙකි. බුදුන් වහන්සේගේ බලාපොරොත්තුව තමන් වහන්සේගේ ශ්‍රාවකයන් ලවා මේ දායාද දෙකින් ධර්මදායාදය ගැන්වීමය. එබැවින් :-
“ධම්ම දායාද මේ භික්ඛවේ, භවථ මා ආමිස දායාද: අත්ථි මේ තුම්හේසු අනුකම්පා, කින්ති මේ සාවකා ධම්ම දායාද භවෙය්‍යුං, නෝ ආමිස දායාදති.
“තුම්හේව මේ භික්ඛවේ, ආමිස දායාද භවෙය්‍යාථ නෝ ධම්ම දායාදා, තුම්හේපි තේන ආදිස්සා භවෙය්‍යාථ ආමිස දායාද සත්ථුසාවකා විහරන්ති නෝ ධම්මදායාද ති, අහම්පි තේන ආදිස්සෝ භවෙය්‍යං ආමිස දායාද සත්ථුසාවකා විහරන්ති නෝ ධම්ම දායාදා ති.”
(ධම්මදායාද සුත්ත)
තේරුම :-
“මහණෙනි, තෙපි මාගේ ධර්මය දායාදය වශයෙන් ගන්නෝ වව්. ආමිස දායාදය ගන්නෝ වව්. මහණෙනි, මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්මදායාදය පිළිගන්නෝ වන්නහුද, ආමිස දායාදය පිළිගන්නෝ නො වන්නාහු ද කියා තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත්තේ ය.
මහණෙනි, ඉදින් තෙපි මාගේ ආමිස දායාදය පිළිගන්නෝ වන්නහු නම් ධර්මදායාදය පිළිගන්නෝ නො වන්නාහු නම්, එයින් තෙපි ද ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිස දායාදය ගන්නෝ ය, ධර්මදායාදය නො ගන්නෝ ය යි ගැරහුම් ලැබිය යුත්තෝ වන්නාහු ය. මම ද එයින් ගැරහුම් ලැබිය යුත්තේ වෙමි.”
මේ දේශනයෙන් දැක්වෙන්නේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් ආමිස දායාදය උසස් කොට නො ගෙන ධර්ම දායාදය පිළිගන්නවුන් විය යුතු බවය. නිවන් දැකීමට උත්සාහයක් නොකොට හොඳ පන්සල් සාදාගෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීම ම පර්මාර්ථය කරගෙන වෙසෙන පැවිද්දෝ තථාගතයන් වහන්සේගේ ආමිස දායාදය පමණක් පිළිගෙන වෙසෙන්නෝ ය. පැවිද්දකුට සම්පූර්ණයෙන් ම ආමිෂය නො ගෙන ආමිෂයෙන් තොර ව ජීවත් විය නො හැකි ය. තථාගතයන් වහන්සේ ආමිෂයත් පැවිද්දන්ට උරුම කර දී ඇත්තේ එයත් වුවමනා බැවිනි. එහෙත් එය ගත යුත්තේ ලෙඩකට බෙහෙතක් ගන්නාක් මෙන් එයට ගිජු නො වී ය. යම් පැවිද්දෙක් ආමිෂයෙහි ගිජු නො වී ආර්යවංශ ධර්මයෙහි පිහිටා සුදුසු සේ සිවුපස පිළිගැනීම හා පරිභෝගය ද කරමින් ප්‍රතිපත්තිය ප්‍රධාන කර ගෙන වෙසේ නම් ඒ පැවිද්දා බුදුරජාණන් වහන්සේ ගේ අදහස අනුව ධර්ම දායාදය පිළිගෙන වාසය කරන්නෙක් වේ.
මාර්ග ඵල නිර්වාණ සංඛ්‍යාත නිෂ්පර්‍ය්‍යාය ධර්මය ලැබීමේ, එයට පැමිණීමේ මඟ දැක්වීම් වශයෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති පිටකත්‍රය සංඛ්‍යාත පර්‍ය්‍යාප්ති ධර්මය ද, බුදුරජාණන් වහන්සේගේ ධර්ම දායාදය ලෙස පැවිද්දන් විසින් පිළිගත යුතු ය. පර්‍ය්‍යාප්ති ධර්මය ගැනීමේ ක්‍රම ද තුනක් ඇත්තේ ය. ඉන් එක් ක්‍රමයක් සාවද්‍යය ය. දෙකක් නිරවද්‍යය.
ගන්නා වූ ක්‍රමය අනුව ඒ පර්‍ය්‍යාප්ති ධර්මය අලගද්දූපම පරියත්තිය, නිත්ථරණත්ථ පරියත්තිය, භණ්ඩාගරික පරියත්තිය කියා තෙවැදෑරුම් වේ.
‘අලගද්ද’ යනු විෂයෙන් සම්පූර්ණ සර්පයාට නමෙකි. නො මනා ලෙස අල්ලා ගත් සර්පයකු බඳු පර්ය්‍යාප්තිය අලගද්දූපම පරියත්ති නම් වේ. සර්පයන් සොයන පුරුෂයකු වනයෙහි ඇවිදිනුයේ මහත් වූ අලගද්දයකු දැක වලගයෙන් හෝ කඳින් ඌ ඇල්ලුව හොත් සර්පයා විසින් දෂ්ට කරනු ලැබ ඒ පුරුෂයාට මැරෙන්නට හෝ මහත් දුකට පත්වන්නට හෝ සිදු වන්නේ ය. යම් පැවිද්දකු වාද කොට අනුන් පැරදවීම පිණිස හෝ වාදයෙන් මිදීම පිණිස හෝ ප්‍රසිද්ධ වී උසස් කෙනකු වීමේ අදහසින් හෝ බණ කියා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීමේ අදහසින් හෝ තථාගතයන් වහන්සේ වදාළ ධර්මය උගතහොත් ඒ පැවිද්දාහට නො මනා ලෙස ඇල්ලූ සර්පයාගෙන් මෙන් නපුරක් වන්නේ ය. යහපතක් සිදු නො වන්නේ ය. ඒ ලාමක අදහස්වලින් ධර්මය උගන්නා පැවිද්දාහට ඒ ධර්මය අවබෝධ වන්නේ ද නැත. උගත් ධර්මය නිසා ඔහු තුළ මද මාන දර්ප තෘෂ්ණාදි බොහෝ පාප ධර්මයෝ ඇති වෙති. ඒවා නැඟී සිටීමෙන් ඒ පැවිද්දා තමාට ලාභ සත්කාර ලැබෙන පරිදි නොයෙක් අතට බණ පද පෙරළමින් වැරදි ලෙස මහජනයාට කියා අනුන්ව පහත් කොට දක්වා තමා උසස් කොට දක්වා මරණින් මතු නිවන් ලැබීම සඳහා තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය නිසා අපාගත වන්නේ ය. බණ ටිකක්වත් කියන්නට නූගත හොත් රටේ සිටීම අපහසු ය යි සිතා ඇතැම් පැවිද්දෝ ජීවනෝපායයක් වශයෙන් ධර්මය උගනිති. එය අලගද්දූපම පරියත්තියම ය.
තමාගේ සම්මෝහය දුරු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ලෝකයේ සැබෑ තත්ත්වය සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමාගේ දොස් දුරු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් නො වරදවා භාවනා කළ හැකි වීමේ බලාපොරොත්තුවෙන් නිවන් මඟ සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශීලය හොඳින් රැකිය හැකි වීමේ බලාපොරොත්තුවෙන් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය උගත යුතු ය. ධර්මය අවබෝධ වන්නේ ද එසේ යහපත් අදහසින් උගන්නා තැනැත්තාට ය. යහපත් අදහසින් උගත් ධර්මය සංසාරයෙන් එතරවීමට හේතු වන බැවින් නිත්ථරණත්ථ පරියත්ති නම් වේ. එයට නිස්සරණත්ථ පරියත්ති යන නාමය ද ව්‍යවහාර වේ.
සකල ක්ලේශයන් ප්‍රහාණය කොට අර්හත්වයට පැමිණීමෙන් පර්‍ය්‍යාප්ති ධර්මයෙන් ගත යුතු ප්‍රයෝජනය ගෙන අවසන් කළා වූ රහතන් වහන්සේලා ද සමහර විට ධ්මය ආරක්‍ෂා කරනු පිණිස එය උගනිති. රහතුන් විසින් එසේ උගත් ධර්මය භණ්ඩාගරික පරියත්ති නම් වේ. (ධම්ම දායාද - අලගද්දූම සූත්‍ර බලනු)
(මහාපරිනිබ්බාන සුත්ත)
(මහා පරිනිබ්බාන සුත්ත)
මහා පරිනිර්වාණ සූත්‍රයෙහි තවත් අපරිහානිය ධර්ම බොහෝ ගණනක් වදාරා ඇත්තේ ය. ඒවාත් දැන ගැනීම පැවිද්දන්ට ඉතා ප්‍රයෝජනය.
නාථකරණ ධර්ම නම් පැවිද්දාට පිහිට වන ධර්ම යෝ ය. නාථකරණ ධර්ම දක්වා වදාළ සූත්‍ර දෙකක් අංගුත්තර නිකාය දශක නිපාතයේ නාථවර්ගයේ ඇත්තේ ය. එයින් ප්‍රථම සූත්‍රය මෙසේ ය.
සනාථා භික්ඛවේ, විහරථ මා අනාථා. දුක්ඛං භික්ඛවේ, අනාථෝ විහරති. දස ඉමේ භික්ඛවේ, නාථකරණ ධම්මා. කතමෙ දස?