සතිපට්ඨාන විපස්සනා භාවනා

සතිපට්ඨාන විපස්සනා භාවනා

ප්‍රථම මුද්‍රණය 1970

මුද්‍රණය: ඩබ්ලිව් ඩී ජේ රත්නායක

අනුල මුද්‍රණාලය

98 ඩීන්ස් පාර

කොළඹ 10

මේ පොත ගැන

අප විසින් 1966 දෙසැම්බර් මාසයේ සිට 1967 මැයි මාසය දක්වා බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී “සතිපට්ඨාන ධර්ම සාකච්ඡා පන්තියක්” පවත්වන ලදී. එහිදී විදසුන් වඩන පින්වතුන්ගේ පහසුව පිණිස විදසුන් වඩන ක්‍රමය හැකිතාක් දුරට පැහැදිලි වනසේ කරුණු ඉදිරිපත් කරමින් ඒ සාකච්ඡාව පැවැත්වීමට උත්සාහ කළෙමි. මේ කරුණ මැනවින් ඉටු කිරීමට බුරුම රට රැංගුන් නුවර “සාසනයෙයිත්තා” භාවනා මධ්‍යස්ථානයේ අධිපති “මහාසී සයාඩෝ” නමින් හැඳින්වෙන අග්ගමහා පණ්ඩිත භදන්ත සෝභන මහා ස්ථවිරයන් විසින් බුරුම බසින් ලියන ලද “සතිපට්ඨාන සන්නය” ඇතුළු බුරුම පොත් බෙහෙවින් උපකාරී විය. විශේෂයෙන් විදර්ශනා භාවනාව පැහැදිලි කිරීමේදී උන්වහන්සේගේ පොත්වලින් කරුණු ගෙන හැර දැක්වීමි. එසේම මේ භාවනාව සම්බන්ධ වෙනත් පාලි අටුවා හා ටීකාවලින් ද කරුණු ඉදිරිපත් කරමින් මේ සාකච්ඡාව පැවැත්වීමි. ඒ ඒ දිනවල සාකච්ඡා වුණු කොටස් තරුණ බෞද්ධ සමිතිය මගින් මුද්‍රණය කොට බෙදා දෙන ලදී.

එම ධර්‍ම පත්‍රිකා කිය වූ සැදැහැවත් පින්වතුන්ගෙන් ඇතැම් කෙනෙක් විදසුන් වඩන අයගේ පහසුව පිණිස එම දහම් කොටස සංග්‍රහ කොට පොතක් මුද්‍රණය කරවන මෙන් ඉල්ලා සිටියහ. සතිපට්ඨානය ගැන ලියවුණු පොත් කොතෙකුත් ඇතත් මේ භාවනා ක්‍රමය එමගින් විස්තර නොවන හෙයින් පොතක් වශයෙන් සකස් වුව හොත් බොහෝ දෙනෙකුගේ යහපත පිණිස හේතුවෙතැයි මට ද සිතුනි. එහෙත් මෙකල මෙබඳු පොතක් මුද්‍රණය කරවීමට සෑහෙන මුදලක් යට කළ යුතුය. අපට එබඳු හැකියාවක් නැති හෙයින් එය මෙතෙක් කල් අතපසු විය. ඒ අතර සැදැහැවතුන් කීප දෙනෙක් සෑහෙන මුදලක් ද පරිත්‍යාග කොට මෙම කටයුත්තෙහි ලා අපව උත්සුක කළහ. මේ “සතිපට්ඨාන විපස්සනා භාවනා” නමැති පොත පළවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

සතිපට්ඨානය වනාහී සියළු ම බුදුවරයන් විසින් අත් නොහැර නිතර භාවිත කරන ලද්දකි. “සබ්බ බුද්ධානං අවිජහිතං ‘සතිපට්ඨානං’ යන්නෙන් එය පැහැදිලි කරයි. පසේ බුදුවරයන් හා සියලු බුදු සව්වෝ ද දුක් කෙළවර කොට නිවණට පැමිණියෝ මේ භාවනා මාර්ගයෙන් ම ය. නිවන් කැමති සියළු උවසු උවැසියන් විසින් ද වැඩිය යුතු - ගමන් කළ යුතු එකම නිවන් මග මේ භාවනා ක්‍රම ය යි. මේ භාවනාව වැඩීමෙන් මේ ආත්මයේ දී ම මගඵල හා නිවන් ලැබිය හැකිය.

එසේම භාවනා වැඩීමේ දී නිවන් දැකීමට පෙරාතුව ම භාවනාව තරමක් දියුණු වූ තැන් සිට පිළිවෙළින් කෙලෙස් මළ දුරුවී යෑමෙන් දුක් දොම්නස් ආදිය සංසිඳවිය හැකිය. දිනපතා මුහුණ පෑමට සිදුවන දහසක් දුක් කම්කටොළුවලින් තාවකාලිකව නමුත් අස්වැසිල්ලක් ලද හැක්කේ මෙවැනි භාවනාවක් වැඩීමෙනි. එහෙයින්ම සිල් සමාදන් වන - භාවනා කරන හැම කෙනෙකු ලඟම සතිපට්ඨාන පොතක් දක්නට ලැබීම ඉතා අගනා දර්ශනයකි. ඇතැම් අය මරණාසන්න මොහොතේ දී පවා සතිපට්ඨානය අස්වති. ඈත අතීතයේ සිට ම මේ සිරිත පැවති බවක් ධම්මික උපාසක තුමාගේ කථා පුවතින් ද පැහැදිලි වේ. මෙවැනි නොයෙක් කරුණු ගැන සලකා මේ පොත සකස් කිරීමට අදහස් කෙළෙමි.

අවිවේකීව හා රෝගාතුරව සිටිමින් ලිවීමට හා මුද්‍රණය කරවීමට සිදුවූ හෙයින් ප්‍රමාද දෝෂ ද විය හැකිය. එබඳු තැන් ඇතොත් නැවත මුද්‍රණය කිරීමේ දී සංශෝධනය කිරීමට සැදැහැවත් ධර්මධර පාඨකයිගේ පිටුවහල බලාපොරොත්තු වෙමි.

කෘතගුණ සැලකීම

කොල්ලුපිටියේ ඇඩ්වඩ් පටු මාවතේ අංක 52, නිවසේ ඇස්. ද ඇස්. වික්‍රමරත්න මහත්මයා සහ එම මහත්මිය ද, හැව්ලොක්ටවුන්හි පොලිස්පාක් පෙදෙසේ අංක 6, නිවසේ ගුණසේන ද සොයිසා මහත්මිය ද, කොල්ලුපිටියේ රයිලන්ඩ් පෙදෙසේ අංක 17, නිවසේ ඇල්ප්‍රඩ් ද සොයිසා මහත්මිය ද යන මේ සැදැහැතියන් විසින් තම තමන්ගේ අභාවප්‍රාප්ත ඥාතීන්ට පින් පිණිස පොත් දාහක් මුද්‍රණය කරවීමේ වියදම දරන ලදී. ඒ අයට සහ ඔවුන්ගේ මලගිය නෑයනට ද උතුම් නිවන් සුව අත් වේවා. මේ පොත සම්පාදනයෙන් ලත් කුශලය ද ඔවුන්ට අනුමෝදන් කරවමි.

එසේ ම පොත මුද්‍රණය කරවීම සම්බන්ධ හැම කටයුත්තකදී ම අතිශයින් උද්‍යෝගිමත්ව ක්‍රියා කළ අපගේ ප්‍රිය ශිෂ්‍ය ශාස්ත්‍රවේදී පත්බේරියේ සිරිනිවාස ස්ථවිර නම ද, බ්ලොක් එක සපයා දුන් බී. සුමනදාස පෙරේරා මහත්මයා ද, පොත් මුද්‍රණ කටයුතු හොඳින් කර දුන් ඩබ්ලිව්. ඩී. ජේ. රත්නායක අප්පුහාමි මහතා ඇතුළු එම කාර්යය මණ්ඩලය ද කෘතඥතා පූර්වකව පින් දෙමින් සිහිපත් කරමි.

ආචාර්ය පූජා

කොළඹ දෙමටගොඩ මහා විසුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලයයාධිපතිව වැඩ වෙසෙමින් මහඟු සේවාවක් සිදුකොට අපවත් වී වදාළ ශ්‍රී ලංකා ස්වේජීන් නිකායේ ආදිකතෘභූත ත්‍රිපිටක පර්යාප්ති ධරඅරංගල සිරි ධම්මාභිධාන අස්මදාචාර්ය මාහිමියන්ගේ ශ්‍රී නාමයට මෙම පුස්තකය පූජෝපහාරයක් වේවා !

දෙවිනුවර ඤාණාවාස ස්ථවිර (ශ්‍රී ලංකා ස්වේජිං නිකායේ මහානායක)

මහා විසුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලය

දෙමටගොඩ,

කොළඹ 10.

2514 වප් මස

1970 ඔක්තෝම්බ 10 දින

පෙර වදන

මිහිඳු මහ රහතුන් වහන්සේ මේ හෙළ දිව බුදු සසුන පිහිටු වූ තැන් සිට, කලක් ම මෙ රට භාවනානු යෝගීන් ගණනින් වැඩී ගිය ද කලකට පසු විදර්ශනා ධුරයට වඩා ග්‍රන්ථධූරය නැඟී ගියේ ය. එහෙත් විදර්ශනාධූරය මුළු මනින් හෙළ දිවින් අතුරුදහන් වූයේ නැත. සීතාවක රාජසිංහ රජු දවසැ වූ ශාසන විනාශයෙන් පසු එය අතුරුදහන් ම වී ය.

වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ ගේ උද්‍යෝගයෙන් මෙයින් සියවස් දෙකකට පමණ පෙර යලිදු මෙහි සසුන පිහිටුවන ලදින් භාවනානුයෝගීහු මෙහි මඳ වශයෙන් ඇති වූහ. ඔවුන් අතුරෙහි කෙනෙක් ශමථය වැඩුහ. ඉතා ටික දෙනෙක් විදර්ශනා වැඩූහ.

බොහෝ පෙරැ සිට ම බුරුම රට ශමථයානික විදර්ශනයානික යෝගි පරම්පරාවෝ අවිච්ඡින්න වැ පැවැත්තා හ. පෙරැ බොහෝ සෙයින් සගයින් පර්වතය වැනි ආරණ්‍ය ශයනාසනයන්හි පැවැති යථොක්ත යෝගාවචර පරම්පරාවෝ ක්‍රමයෙන් පැතිර ගොස් අද ග්‍රාමාන්තශයනාසයන්හි ද දියුණු වෙමින් පවතිත්.

අද බුරුමරටැ විදර්ශනා කර්මස්ථානාචාර්යන් අතුරෙහි උපරිම ස්ථානයෙහි වැජඹෙන කෙනෙකි, රැන්ගුන් නුවරට නොදුරෙහි ශාසනයෙයිත්තා යෝගාශ්‍රමයෙහි අධිපති අග්ගමහා පණ්ඩිත මහාසීසෙයාඩෝ නමින් ප්‍රකට මහ තෙරණුවෝ. අද ධර්මධරයන් අතර ත්‍රිපිටකධාරී යැ යි කිව යුතු තරමට අටුවා ටීකා සහිත තෙවළා දහම්හි හසළ බුද්ධියක් ඇති දුර්ලභ ගණයේ මහාධර්‍මධරයෙකු වූ, විදර්‍ශනා භාවනායෙහි බොහෝ ඉහළට මුහුකුරා ගිය භාවනාමය ප්‍රඥා ඇති මහතෙරණුවන් විසින් වීදර්ශනා භාවනාව පිළිබඳ රැසැයුණු ග්‍රන්ථ කිහිපයක් ද වෙති. මෙ කී තෙරුන් වෙතින් කමටහන් උගත් සුජාත ජවන ආදී තෙරවරුන් මේ හෙළදිව වැඩ ඇරැඹි සතිපට්ඨාන භාවනා ක්‍රමය අද මෙරට අද නොයෙක් තන්හි සැදැහැවත් ගිහි පැවිදි බොහෝ දෙනා විසින් පුරුදු කරනු ලැබේ. කලක් ම මෙ රට පිරිහෙමින් පැවැති විදර්ශනාධූරය මෙසේ මහාසී මහතෙරුන් ගේ සිසු පිරිස මඟින් මෙහි හිස ඔසොවා නැඟී සිටින්නට විය.

මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය පිළිබඳ ව වර්‍ෂයක් පාසා ලොකු කුඩා නොයෙක් පොත පත පළ වෙයි. මෑතක සිට මේ හෙළදිව ද විදර්‍ශනා භාවනාව පිළිබඳ පොත් පළවන්නට වී ඇත.

ආචාර්ය දෙවිනුවර ඤාණාවාස මහ තෙරුන් විසින් ලියන ලද මෙම සතිපට්ඨාන විපස්සනා භාවනා පොත මෙයට පළමුවෙන් මෙහි පහළ වූ භාවනෝපදේශ පොත් අතුරෙහි උසස් ම තැනක් ගන්නා එකකැ යි කියතොත් එය අතිමාත්‍ර වර්ණනාවෙක් නොවේ යැ යි මගේ හැඟීම යි.

මහාසීමහතෙරුන් විසින් සතිපට්ඨාන භාවනාව පිළිබඳ ව බුරුම බසින් ලියා පළ කරවන ලද විශාල කාණ්ඩ දෙකකින් පරිමිත මහඟු මහා ග්‍රන්ථයක් ඇත. එය ද ඇසුරු කොට, තවත් පෙල අටුවා ටීකා ආදියෙන් ද කරුණු ගෙන මෙම පොත ආචාර්ය දෙවිනුවර ඤාණාවාස මහ තෙරුන් විසින් රචිත ව ඇත. බුද්ධ ධර්‍මයෙහි යථාතත්වය දැනගනු රිසියවුනට ද භාවනානුයෝගීනට ද මේ පොත විපුල අර්ථයක් ගෙන දෙනු ඇත. පොත් නම් බොහෝ පහළ වෙයි. එහෙත් මෙබඳු පොතක් පහළ වනුයේ කලාතුරකිනි. මේ පොත රැසැයූ ආචාර්ය දෙවිනුවර ඤාණාවාස මහ තෙරණුවෝ මෙයින් හෙළදිවට මහදර්ථයක් සිදු කෙරෙති.

දැන් මේ මහඟු ග්‍රන්ථයේ කර්තෘ ඇරැබ ද යමක් කිය යුතු වැ ඇත.

යටකී පරිදි වැලිවිට සරණංකර සඟරජුන් ගේ ශාසන සංග්‍රහයෙන් සූත්‍රපිටක විනයපිටක දෙක්හි ද ව්‍යාකරණ ඡන්දෝලංකාර ශාස්ත්‍රයන්හි ද දැනීම මෙ රට කෙමෙන් වැඩී ගියේ ය. ඇතැම් ගිහි පැවැදි පඬි කෙනෙක් මහෝත්සාහයෙන් අභිධර්ම පිටකය අතේ දැනීම ද තරමක් දියුණු කැරැ ගත්තාහු ද එය පැතිරවීමෙහි එතරම් උනන්දු නොවූහ. එදා සූත්‍ර විනය දෙකට ම ප්‍රධාන තැන ලැබී තුබුණේ ය. මෙසේ පවත්නා අතරැ අන්තිම බුරුම රජුන් ගේ සමයෙහි බුරුම රටට ගොස් ත්‍රිපිටකධාරී මහ තෙරුන් පස් නමක් වෙතින් අටුවා ටීකා සහිත ව ත්‍රිපිටකය බොහෝ කලක් ඉගෙන මෙරටට පැමිණ බොහෝ ගිහි පැවිද්දනට විශේෂයෙන් අභිධර්මය ඉගැන්වූ ලක්මිණිපහන් පත් සකසු වූ ධර්මරත්න පඬිතුමා නිසා අභිධර්මය හදාරනුයෙහි උනන්දුව මෙහි ඇති විය.

එයින් කලකට පසු බුරුම රට වැඩ එහි දී ම උපසපුව ලබා, මහාධර්මධර තෙරුන් ඇසුරින් සාර්ථකථා ත්‍රිපිටක ධර්මය ඉගෙන, ඉක්බිති ආචාර්යත්වයෙන් ද පුදනු ලැබ මෙසේ සොළොස් වසක් බුරුම රට වැස, මෙහි වැඩ කොළොඹැ මහා විසුද්ධාරාමය ඇති කොට ශත සංඛ්‍යාත ගිහි පැවිදි ජනයාට ත්‍රිපිටක ධර්මය ඉගැන්වීමෙන් මහත් ශාසන සේවාවක් කළ අරංගල සිරිධම්ම මහා නාහිමිපාණන් ගෙන් වූ ශාසනෝද්දීප්තිය ඉතා මහත් ය.

උන් වහන්සේ වෙත දහම් විනය හදාළ බොහෝ පැවිදි තැන් අතුරෙහි දෙවිනුවර ඤාණාවාස මහා නායක මහ තෙරණුවෝ උච්චස්ථානයක් ගත්තෝ ය. උන් වහන්සේ බුරුම රට ද වැඩ කලක් එහි ද දහම් විනය ඉගෙන ධර්ම පරීක්ෂණ කිහිපයකින් ම සාමර්ථය ලැබ පෙරළා මෙහි වැඩ, ඒ සිරිධම්ම මහ නාහිමිඳුන් ඇරැඹු ත්‍රිපිටක විද්‍යාලයයේ ඉගැන්වීමෙහි අදත් නිරත ව ඉඳිති.

මෙසේ වූ මහා ධර්මධර පඬිවරයකු විසින් ම විනා සාමාන්‍ය උගතකු විසින් මෙ බඳු ග්‍රන්ථයක් නිපදවනු දුෂ්කර ය. මේ පොත බොහෝ දුරට කියවා බැලූ මට මේ ග්‍රන්ථයෙහි අගය පමණ කළ නොහැකි සේ වැටහිණ.මේ වටිනා ග්‍රන්ථය භාවනානු යෝගීන් ගේ ත් ධර්මඥානාභිලාෂීත් මනදොළ පිරීමෙහි හැම ලෙසින් ම සමර්ථ වේ වා.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර

(ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක)

1970. 10. 13

බළන්ගොඩ, බුලගමැ

උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ දී යැ.

අදහස් දැක්වීම

සතිපට්ඨාන විපස්සනා භාවනා නමැති මේ පොත බෞද්ධයන් අතීතයේ පටන් බෙභෙවින් භාවිත කරන ගරු කරන මහා සතිපට්ඨාන සූත්‍රයේ අර්ථ විවරණයෙකි. මහා සතිපට්ඨාන සූත්‍රය වනාහි මෙහි අර්ථය එසේ ද මෙසේ ද මෙයින් දැක්වෙන්නේ මෙය ද අනිකක් ද කියා උගතුන්ට පවා සැක පහළ කරවන නිශ්චයකට පැමිණීමට දුෂ්කර ස්ථාන බොහෝ ඇති ඉතා ගැඹුරු සූත්‍ර ධර්මයකි. භාෂා ශාස්ත්‍ර උගෙන ඇති පමණින් සතිපට්ඨාන සූත්‍රය තේරුම් ගත නො හැකි ය. මේ සූත්‍රයට පිරිසිදු පැහැදිලි අර්ථ විවරණයක් කළ හැකි වීමට භාෂා ශාස්ත්‍ර දැනුමක් තිබිය යුතු ය. අභිධර්මය පිළිබඳ උසස් දැනුමක් ද තිබිය යුතු ය. චිරකාලයක් පවත්වන ලද යෝගාභ්‍යාසයක් තිබිය යුතු ය. බොහෝ යෝගීන් ඇසුරු කර තිබිය යුතුය. ඔවුන් හා නොයෙක් වර සාකච්ඡා පවත්වා තිබිය යුතු ය. ධර්ම ගරුකයකු විය යුතු ය.

ශ්‍රී ලංකා ශෙවජින් නිකායේ මහා නායක ධුරන්ධර ආචාර්යය දෙවිනුවර ඤාණාවාස ස්ථවිරයන් වහන්සේ කියන ලද සකලාඞ්ගයන්ගෙන්ම පරිපූර්ණ මහා ස්ථවිර නමකි. උන් වහන්සේ පාලි සංස්කෘත බුරුම ආදී භාෂා පිළිබඳ උසස් දැනුමක් ඇතියෙකි. අභිධර්මය පිළිබඳ විශේෂ දැනුමක් ඇතියෙකි. ත්‍රිපිටක ධර්මය ගිහි පැවිදි බොහෝ සිසුන්ට දීර්ඝ කාලයක් උගන්වා ඇති ධර්මාචාර්යවරයෙකි. දීර්ඝ කාලයක් කරන ලද යෝගාභ්‍යාසය ඇතියෙකි. කර්මස්ථානාචාර්යවරයෙකි. බුරුමයේ හා තවත් රටවල අති ප්‍රසිද්ධ අග්ග මහා පණ්ඩිත මහාසී සයාඩෝ නමැති කර්මස්ථානාචාර්යය මහා ස්ථවිරයන් වහන්සේ ආදි බොහෝ යෝගාවචරයන් ඇසුරු කර ඇතියෙකි. ඔවුන් හා සාකච්ඡා පවත්වා ඇතියෙකි. විදර්ශනා භාවනාව පිළිබඳ වූ පාලි සිංහල පොත් පමණක් නොව බොහෝ බුරුම පොත් ද භාවිත කර ඇත්තෙකි. භාවනා ක්‍රම පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇතියෙකි. භාවනා ගැන අත් දැකීම් ඇතියෙකි. කරුණු මෙසේ හෙයින් දෙවිනුවර ඥාණාවාස ස්ථවිරයන් වහන්සේ සතිපට්ඨාන සුත්‍රයට අර්ථ විවරණයක් කිරීමට ඉතා සුදුසු තෙර නමකි. උන් වහන්සේ අතින් ලියවුණු මේ අගනා ධර්ම ග්‍රන්ථය නිවන් මඟ සොයන ගිහි පැවිදි පින්වතුන්ට ඉමහත් ආලෝකයක් බව කිය යුතු ය.

දහම් පාසල් ආදියෙහි සතිපට්ඨාන සූත්‍රය උගන්වන ගුරුවරුන් විසින් ද පැහැදිලි පොතක් නැතිකමින් සතිපට්ඨාන සූත්‍රය උගැන්වීම දුෂ්කර වී ඇති බව නොයෙක් විට කියනු ඇසේ. සුදුසු පොතක් නැති බැවින් ශිෂ්‍යයනට ද මේ සීවටන් සුතුර අමිහිරි දහමක් වී තිබේ. ඥාණාවාස නා හිමියන්ගේ මේ ග්‍රන්ථයෙන් ඒ ගුරු ශිෂ්‍ය සැමදෙනාට ම ද මහත් පිහිටක් වනු ඇත. වයෝ වෘද්ධව සිටින අප නා හිමියන්ට තවත් මෙබඳු ග්‍රන්ථයන් සම්පාදනය කළ හැකිවීමට කාය ශක්තිය ලැබේවා! යි පතමු.

මීට- ශාසනෝදයකාමි,

රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයෝය.

2514 /1970

ජූලි මස 23 වෙනි දින,

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.

හැඳින්වීම

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වෛනෙය ජනයාගේ නිර්වාණාවබොධය සඳහා දේශනාකර වදාළ මහා සතිපට්ඨාන සූත්‍ර ධර්මය පිළිබඳ මේතාක් ප්‍රකාශයට පත්ව තිබෙන පොත් රැසකි. ඒවා බොහෝසෙයින් ම පාලිපාඨවලට අර්ථදීම පිණිස කෙරී තිබෙන බව පෙනේ. විදසුන් වැඩීමට නිසි මඟ පෙන්වා නො තිබීම නිසා නියම ප්‍රයෝජනය ගැනීම දුෂ්කර බව සැළකූ කොළඹ මහවිශුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලයාධිපති ගෞරවාර්හ දෙවිනුවර ඤාණවාස මහානායක ස්ථවිර පාදයන් වහන්සේ බොහෝ වෙහෙස දරා අටුවා ටීකා හා බුරුම බසින් මුද්‍රිත පොත්පත්වල අදහස්ද ගෙන බුරුම රට “ශාසනයෙයිත්තා”භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටක පරියාප්තිධර අග්ගමහා පණ්ඩිත භදන්ත සොභන මහස්ථවිර පාදයන් වහන්සේගේ ගුරූපදේශයන් ද ගෙන සකස් කරන ලද “සතිපට්ඨාන විපස්සනා භාවනා”නැමති අගනා පුස්තකය අප විසින් ද කියවා බලන ලදී.

එය විදසුන් වැඩීමේ නියම ක්‍රමය බවත් ඒ අනුව ක්‍රියා කිරීමෙන් භාවනාවකින් ලබා ගතයුතු නියම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙනවාට කිසිම සැකයක් නොමැති බවත් අත් දැකීම් අනුව ප්‍රකාශ කළ හැක. එබැවින් දුර්ලභව ලබාගත් මිනිස් ජිවිතයෙන් හා අතිශයින් දුර්ලභව හමුවූ නෛර්යයානික බුද්ධශාසනයෙනුත් ඇතිකර ගතයුතු ඵලය ලබා ගැනීමේ ශ්‍රේෂ්ඨතම ක්‍රමය මැනවින් පහදා දීමත්, භාවනා කරණ යෝගාවචරයින් හට හමුවන ඉතා සියුම් ධර්ම ක්‍රමයන්ද පැහැදිලි කර තිබීම වඩාමත් ප්‍රතිඵල ගෙන දෙන්නකි. මේ ආදී කරුණු අනුව කල්පනාකර බලන විට භයානක දුක්රැසක් දිවා රෑ දෙක්හි විඳිමින්, ගතිනියමයක් නො මැතිව සිටින, සංසාරික දුක්වලින් මිදීමට කැමැති සැම දෙනා විසින් ම, “සතිපට්ඨාන විපස්සනා භාවනා”පුස්තකයෙන් පෙන්නුම් කර දී තිබෙන අන්දමට භාවනා වඩා සියලු දුක් වලින් නිදහස් වීමට උත්සාහ කරත්වා! රෝගාතුර කම්වලින් පෙළෙමින් වයෝවෘද්ධව සිටින මහානායක ස්ථවිරයන් වහන්සේ මෙවැනි ලෝවැඩදායි අගනා ග්‍රන්ථයක් සකස් කිරීම සඳහා ගෙන තිබෙන පරිශ්‍රමය ගැන නිර්වාණාභිලාෂී සැම දෙනාම කෘතඥ විය යුතු වේ.

මීට- ශාසනස්ථිතිකාමී,

කහටපිටියේ සුමතිපාල මහාස්ථවිර

කඳුබොඩ - භාවනාමධ්‍යස්ථානය

2514 / 1970. 10. 5

සූත්‍ර නිදානය

සතිපට්ඨාන විපස්සනා භාවනා

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

පාලි

එවං මෙ සුතං – එකං සමයං භගවා කුරූසු විහරති කම්මාදසම්මං නාම කුරූනං නිගමො. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි – “භික්ඛවො”ති. “භදන්තෙ” ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච.

සතිපට්ඨානයේ අනුසස්

එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා.

කෙටි අදහස

ආනන්ද ස්ථවිර වූ මා විසින් මේ සූත්‍ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කුරු රට වැසියන්ගේ

කම්මාස්ස දම්ම නම් නියම් ගම්හි වැඩ වසන ස්ක. එකල්හි උන්වහන්සේ “මහණනි,” යි කියා භික්ෂුන් අමතා වදාළ සේක. ඒ භික්ෂූහු, “ස්වාමීන් වහන්ස!”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. “මහණෙනි! සත්වයන්ගේ පිරිසුදු බව පිණිස ද, ශෝකය හා හැඩීම දුරු කිරීම පිණිස ද, දුක් දොම්නස් නැසීම පිණිස ද, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස ද, නිවන් දැකීම පිණිස ද, පවතින්නා වූ යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත් ද, මෙය නිවනට යන ඒකායන මාර්ගය (එක ම මාර්ගය) වෙයි.”

කුරු රට:

මහා මන්ධාතු නම් සක්විති රජතුමා දඹදිව සිට චක්‍රරත්නයේ බලයෙන් පුබ්බවිදේහ ය, අපරගෝයාන ය, උතුරු කුරු ය යන මහා දිවයින් වැසි මිනිසුන්ට අවවාද දීම සඳහා එහි ගිය කල්හි දඹදිව ඉතා උතුම් රටක් ය යි අසා ඒ රජු හා දඹදිවට පැමිණි ඒ මිනිසුන්ගෙන් පූර්ව විදේහයෙන් ආ මිනිසුන් පදිංචිව සිටින ප්‍රදේශය විදෙහ රට ය යි ද අපරගෝයානයෙන් ආ මිනිසුන් පදිංචිව සිටින ප්‍රදේශය අපරන්ත ය යි ද උතුරු කුරු දිවයිනෙන් ආ මිනිසුන් වාසය කරන ප්‍රදේශය කුරුරට ය යි ද ව්‍යවහාර කරනු ලැබේ. කුරු රට පිහිටා ඇත්තේ උතුරු දඹදිව බටහිරටත් උතුරටත් අතරෙහි ය. කුරු නම් වූ රජ කුමරුවන් ඇතුළු මිනිසුන්ගේ නිවාසස්ථානය කුරු ජනපදය හෝ කුරු රට ය යි කියනු ලැබේ, මෙකල මෙ කුරුරට දිල්ලි ය යි සලකනු ලැබේ.

කම්මාස්සදම්ම නිගමය:

මහා සුතසෝම ජාතකයෙහි සහ ජයද්දිස ජාතකයෙහි සඳහන් වූ පරිදි පාදයෙහි කබර සහිත වණ කැළලක් ඇති බැවින් පෝරිසාදයා හට “කම්මාස” යයි ද, කම්මාස නම් පෝරිසාද දමනය කළ ස්ථානය “කම්මාසදම්ම”ය යි ද කියනු ලැබේ. නගරාඞ්ගයන්ගෙන් අසම්පුර්ණ වූවත් සාමාන්‍ය ගමකට වඩා කඩපිල් ආදියෙන් හා ජනගහණයෙන් දියුණු වූ බැවින් මෙය නියම් ගමක් විය. එහෙයින් මේ සූත්‍රය දේශනා කළ ප්‍රදේශයට කම්මාසදම්ම නිගම ය යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට ඒ නියම් ගමෙහි වැඩ විසීමට විහාරයක් තිබුණේ නැත. එයට නුදුරු එක්තරා සිත්කලු තැනෙක මහ වන ලැහැබක් ඇත. එහි පරිභෝගයට ජලය ද ඇත. කම්මාසදම්ම නිගමය ගොදුරු ගම් කොට ගෙන ඒ වන ලැහැබෙහි වැඩ වෙසෙමින් සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ සේක.

මේ මහා සතිපට්ඨාන සූත්‍රය කුරු රටෙහි දී ම දේශනා කළේ කුමක් නිසා ද? කුරුරට වාසීන්ට ගැඹුරු ධර්මයන් අසා දැන ගැනීමට සමර්ථ වූ ඥාන ශක්තිය ඇති බැවිනි. එය එසේ වූයේ එකල්හි කුරු රට වාසීහු ඍතු - භෝජනාදි සප්පායයන්ගෙන් සම්පූර්ණව ලෙඩ නැති කය හා සිත් ඇති බැවින් දියුණු වූ නුවණ ඇත්තෝ වූහ. ගැඹුරු ධර්ම කථා අසා අවබෝධ කර ගැනීමට සමත් වූහ. එහෙයින් රහත් වන තෙක් මාර්ගඵල ලැබිය හැකි කර්මස්ථාන (21) එක්විස්සක් ඇතුළත් කොට අගනා රන් බඳුනක් ලැබ එහි අගනා දෙය තැන්පත් කොට තබන්නා සේ කුරුරට වැසි පිරිස ලැබ මේ ගැඹුරු අර්ථ - අදහස් ඇති සතිපට්ඨාන සූත්‍ර ධර්මය දේශනා කළ සේක.

මේ භාවනාව කලිනුත් දෙසූ බව

එරට වැසි බැල මෙහෙකරු ආදී පහත් ජනයාගේ පටන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවු පිරිස ම සතිපට්ඨාන භාවනාවෙහි යෙදී වෙසෙති. එසේ ම සතිපට්ඨානය පිළිබඳ ධර්ම සාකච්ඡායෙහි ම නිතර යෙදෙති. එහෙයින් මේ සූත්‍රය එහි දී දේශනා කරන ලදී. මෙපමණක් නොව වෙනත් ගැඹුරු අර්ථ අදහස් ඇති මහා නිදාන, සාරෝපම, රුක්ඛුපම, රට්ඨපාල, මාගන්දිය, ආනෙඤ්ජසප්පාය යන සූත්‍ර ද මෙහිදී ම දෙසූ සේක.

කුරුරට වැඩි පිරිස නිතර නිතර සතිපට්ඨාන ය පිළිබඳ ධර්ම සාකච්ඡාවෙහි යෙදෙමින් එම භාවනාව කරමින් සිටින නිසා එහි දී මේ සූත්‍රය දේශනා කළ බව අටුවාවෙහි සඳහන්ව ඇත. එබැවින් සතිපට්ඨාන සංයුත්තක ආදියෙහි එන පරිදි මේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නටත් පෙර වෙන වෙන තැන්වලදීත් මේ ධර්මය සැකෙවින් දේශනා කරන ලද බව ඉතා පැහැදිලි ය. එහෙත් සතිපට්ඨාන භාවනාව එක්විසි පබ්බයකින් යුක්ත කොට සම්පූර්ණයෙන් විස්තර කොට ඇත්තේ මේ මහා සතිපට්ඨාන සූත්‍ර යෙහි ම ය.

සතිපට්ඨාන

සැඩ පරුෂ කුළු ගොනෙකු මෙන් නානා අරමුණු කරා දුවන අකීකරු සිත නවත්වා ගෙන ඒ සිත කය ආදී කමටහන් අරමුණක බැඳ තබන සිහිය ම සතිපට්ඨාන නමි.

තව ද, සති නම් වූ සිහිය පිහිටුවා තබන ස්ථානය වූ අරමුණු සතර සතිපට්ඨාන නමි. එනම් රූප කය ය, ඒ වේදනාව ය, සරාගාදී චිත්ත ය, හා ස්කන්ධාදී ධර්ම ය යන මේ සතර ය.

ඒකායන මාර්ගයේ අනුසස්

“ඉමිනාව මග්ගෙන -පෙ- අනෙකා සම්මාසම්බුද්ධා, අනෙකසතා පච්චෙක බුද්ධා, ගණනපථං විති වත්තා චාති ඉමෙ සන්තා සබ්බේ චිත්තමලෙ පවාහෙත්වා පරමවිසුද්ධිං පත්තා.”

යන මේ අටුවා පාඨයෙහි ආ පරිදි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත පහළ වූ බුදු, පසේ බුදු, ආර්ය ශ්‍රාවකයෝ සියලු කෙලෙස් මල දුරු කොට පරම විසුද්ධියට පැමිණියාහු ය යි කියන ලද්දේ නිදර්ශන මාත්‍රයක් වශයෙනි. එහි අදහස මෙසේ දත යුතු යි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත හෝ වේ වා එයට වැඩි කාලයක හෝ වේවා, කවදා හෝ වේවා අතීතයෙහි පහළ වූ ද, දැන් පහළ වන්නා වූ ද, මතු පහළ වන්නා වූ ද, සියලු බුදු, පසේ බුදු, ආර්ය ශ්‍රාවකයෝ මේ සතිපට්ඨාන මාර්ගයෙන් ම සියලු කෙලෙස් මල දුරු කොට පිරිසිදු වූහ. එහෙයින්

“එතෙන මග්ගෙන තරිංසු පුබ්බේ,

පරිස්සන්ති යෙ ච තරති ඕඝං”

යනුවෙන් සතිපට්ඨාන සංයුත්ත නාලන්දවග්ග බ්‍රහ්ම සූත්‍රයෙහි දැක්වෙන පරිදි කල්ප වශයෙන් කාල නියමයක් නොමැති ව අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයයෙහි මේ සතිපට්ඨාන මාර්ගයෙන් කාමාදී ක්ලේශ ඕඝය එතෙර කළහ. එතර කරති. එතර කරන්නාහු ය. යනු එහි තේරුම ය.

දීඝ නිකාය පාථිකවග්ග සම්පසාදනීය සූත්‍රයෙහි ද “චතුසු සතීපට්ඨානෙසු සුපට්ඨිත චිත්තා” යනුවෙන් කාලත්‍රයයෙහි ම සතර සතිපට්ඨානයෙහි හොඳින් පිහිටුවන ලද සිත් ඇති ව සම්මා සම්බොධි ඤාණය ලැබිය යුතු බව ප්‍රකාශ කොට ඇත. එහෙයින් මෙහිසත්තානං විසුද්ධියා යන තන්හි සත්තානං යන සාමාන්‍ය වචනයෙන් විසුද්ධිය (පිරිසිදු බව) ට පැමිණිය හැකි නුවණ මේරු සත්වයන් ම ගත යුතු ය.

ඒකායන මාර්ගය

(ඒක අයන මග්ග) යන මෙහි අයන යනු මාර්ගයට නමකි. එහෙයින් ඒකායන යනු එක ම මාර්ගයක් ය යන තේරුම ය. මේ ඒකායන යන්නට එකම ශබ්දය එකතු කොට ඒකායන මග්ග ය යි මාර්ගය ප්‍රකාශ වන ශබ්ද දෙකක් ම එකට යොදා වදාළේ අතිශයාර්ථයක් ප්‍රකාශ කිරීමට ය.

එහෙයින් සත්වයන්ගේ කෙලෙස් මලයෙන් පිරිසිදු වීමට ද සෝක පරිදේව (හැඩීම) දුක් දොම්නස් වලින් දුරු වීමට ද සෝවාන් ආදී මාර්ගයන් ලබා ගැනීමට හා නිවන් යාමට ත් අතිශයින් උපකාර වන එක ම මාර්ගය මේ සතිපට්ඨානය ම ය යනු ‘එකායන මග්ග’ යන වචනයෙහි තේරුම ය.

එහෙයින් “එකමග්ගොති එකො එව මග්ගො, න හි නිබ්බානගාමී මග්ගො අඤ්ඤෝ අත්ථි” ය යි කියන ලදී. මේ සතිපට්ඨාන මාර්ගයෙහි ගියහොත් ඒකාන්තයෙන් ම නිවන වරදින්නේ නැත. නිවනට හැර මං මුළා වීමෙන් වෙන දිහාවක යෑමට අතුරු පාරවල් ද මේ මාර්ගයට සම්බන්ධ වී නැත.

මේ සතිපට්ඨාන මාර්ගයෙන් සන්තති මහාමාත්‍යයා හට මෙන් සෝකය ද ඉක්ම විය හැකිය. පටාචාරාවට මෙන් පරිදේවය ද ඉක්ම විය හැකි ය. මෙතන්හි සැලකිය යුත්තක් ඇත. එනම් බණ අසමින් සිටිය දී මාර්ග ඵලයන්ට පැමිණීම වනාහී සතිපට්ඨාන භාවනා නය මෙනෙහි නොකොට ම අසනු ලැබූ ධර්මයෙන් ම සිදුවී ය යි කල්පනා නො කළ යුතු ය. ඒ බව අටුවා වෙහි පැහැදිලි ව දක්වා තිබේ.

සතිපට්ඨාන අරමුණු මෙනෙහි කිරීමෙන් මාර්ග-ඵල ලැබිය හැකි ය

කෙසේ ද යත්:

“යං පුබ්බෙ තං විසොසෙහි - පච්ඡා තෙ මාහු කිඤ්චනං

මජ්ඣෙ ව නො ගහෙස්සසි - උපසන්තො චරිස්සසි”

යන මේ ගාථාව අසන්ට ලැබීමෙන් සන්තති මහාමාත්‍යයා රහත් වූ බව සත්‍යයකි. එසේම:

“න සන්ති පුත්තා තාණාය - න පිතා න පි බන්ධවා

අන්තකෙනාධිපන්නස්ස - නන්ථි ඤාතිසු තාණතා

එතමත්වසං ඤත්වා - පණ්ඩිතො සීලසංවුතො

නිබ්බානගමනං මග්ග - ඛිප්පමෙව විසොධයෙ”

යන ගාථාවන් අසන්ට ලැබීමෙන් පටාචාරාව සෝවාන් වූ බව ද සත්‍යයකි. එහෙත් කාය, වේදනා, චිත්ත, ධම්ම යන සතිපට්ඨාන අරමුණු සතරින් යම්කිසි අරමුණක් මෙනෙහි නොකොට විදර්ශනා ඥානයක් හෝ මාර්ග ඥානයක් ලැබිය හැකි ප්‍රඥා භාවනාවක් නැත. එහෙයින් සන්තති අමාත්‍යයා හා පටාචාරාව ද සතිපට්ඨාන අරමුණක් ම මෙනෙහි කොට මේ සතිපට්ඨාන මාර්ගයෙන් ම සෝක පරිදේවයන් ඉක්ම වූ බව ස්ථිරව ම සලකා ගත යුතු ය යි අටුවාවෙහි කීහ.

බණ අසමින් සතිපට්ඨානය වැඩිය හැකි බව

යං පුබ්බේ තං විසොසෙහි, පූර්ව සංස්කාරයන් කෙරෙහි ඇති විය හැකි කෙලෙසුන් වියලවා හරිනු යයි වදාළ මේ වාක්‍යයෙන් දත යුතු අදහස නම්, පළමුවෙන් ම දක්නා ලද - අසන ලද - ස්පර්ශ කරන ලද දැන ගන්නා ලද අරමුණු නැවත නැවත මතක් වීමෙන් ඒ මතක් වන වරක් පාසා රාග ද්වේෂාදී ක්ලේශයන් ඇති විය හැකි බව ද එවැනි ක්ලේශයන් ඇති නොවන සේ සිහි නුවණින් බැලිය යුතු බව ද දක්වන ලදී. එසේ බැලිය යුත්තේ කුමක් ද? දැන් මේ මොහොතෙහි ඇති වෙමින් පවත්නා නාම රූප ධර්මයන් නොකඩවා සිහි කිරීමෙන් පළමුවෙන් ඇති වූ පරණ අරමුණු මතක් නොවේ. ඒවා මතක් නොවන බැවින් සිහි නොවන බැවින් ඒවා අරමුණු කොට කෙලෙස් ඇතිවන්නට නොහැකි ය. එහෙයින් ඒ පරණ අරමුණු ආපසු සිහි නොකිරීමට දැන් උපදමින් පවත්නා නාම රූප ධර්මයන් නොකඩවා සිහිකර බැලිය යුතු ය.

තවද පුරාණ අරමුණු ආපසු සිහිවන විට, මතක් වන විට ඒ වර්තමාන සිතිවිල්ල සිහියෙන් තදින් අල්ලාගෙන සිහි කළහොත් ඒ ගැන උපදනා කෙලෙස් සිඳ දැමිය හැකි වෙයි. එහෙයින් ආපසු කල්පනා කිරීමෙන් නැවත කෙලෙස් නූපදින පරිදි ඒ කල්පනාව ද මග හැරෙන තෙක් මෙනෙහි කළ යුතුය. සන්තති අමාත්‍යයා මෙකී අර්ථ අදහස් දැන ගෙන ඔහුගේ ආදරයට ගොදුරු වූ තරුණ කාන්තාව හා සමග කළ කී දෙය මතක් වන වරක් පාසා ඒ සිත මෙනෙහි කිරීමෙන් ද පසුගිය කාලයෙහි කළ කී දෙය නැවත කල්පනා නොවන සේ එකෙණෙහි පවත්නා වර්තමාන නාම රූපයන් නොකඩවා මෙනෙහි කිරීමෙන් ද බණ අසමින් සිටිය දී ම සතිපට්ඨානය වඩන ලද බව දත යුතු ය.

පච්චා තෙ මාහු කිඤ්චනං, පසු මතු කාලය ගැන සෝක කිරීම් ආදි පළිබෝධ කෙලෙස් නූපදවනු යයි වදාළ වචනයෙන් ද මතුවට වුවමනා අරමුණු පිළිබඳව පළිබෝධ කෙලෙස් ඉපදීම හා ඒ කෙලෙස් නූපදින පරිදි මෙනෙහි කරන ආකාරය ද දක්වන ලදී.

කෙසේ මෙනෙහි කළ යුතු ද? මතුවට සිදුවන දේ ගැන සිතන්ට ඉඩ නොතබා වර්‍තමානයෙහි ඇති වෙමින් පවත්නා නාම රූප ධර්මයන් නොකඩවා මෙනෙහි කළ යුතු ය. මතු අනාගතය පිළිබඳ අරමුණක් ගෙන සිතක් ඇතිවුවහොත් ඒ සිත නැතිව යන තෙක් මෙනෙහි කළ යුතු ය. සන්තති අමාත්‍යයාහට මේ කරුණු වැටහිමෙන් මතු අනාගතයෙහි ඒ තරුණ කාන්තාව මුණ ගැසීම හෝ ඇය හා එක්ව විසීම පිළිබඳ රාග සිතිවිලි නිසා ඈය කවදාවත් දකින්ට ලැබෙන්නේ නැත, මා තනිවුනා නොවේදැ යි සිත දවන තවන සෝකය ඇතිවන වාරයක් පාසා ම ඒ සිතිවිලි මෙනෙහි කිරීම ම වර්තමාන නාම රූප ධර්මයන් නො කඩවා මෙනෙහි කිරීම යයි කියනු ලැබේ. මෙසේ බණ අසමින් සිටියදී ම සතිපට්ඨාන භාවනාව වඩන ලද බව දත යුතු ය.

මජ්ඣෙ චෙ නො ගහෙස්සසි, මැද කොටසෙහි වූත් වර්තමාන නාම රූප සංස්කාරයන් ආත්ම වශයෙන් නොගන්නෙහි ය යි වදාළ වචනයෙන් ද දැන් ඇසෙන දකින වර්තමාන නාමරූප ධර්මයන් කෙරෙහි ආසාව ඇති නොවන සේ මම ය, සත්වයෙක් ය, පුද්ගලයෙක් ය යි නො හැඟෙන සේ උපදිනතාක් වර්තමාන නාම රූප ධර්මයන් මෙනෙහි කළ යුතු බව ද දක්වන ලදී. ඒ සන්තති අමාත්‍ය තෙමේ මෙකී අර්ථ අදහස් අවබෝධ කොට ගෙන උපදිමින් පවත්නා දැකීම් - ඇසීම් - කල්පනා කිරීම් ආදි නාමරූප ධර්මයන් අතර නොකඩවා මෙනෙහි කිරීමෙන් සලකා බැලීමෙන් බණ අසමින් සිටියදී ම සතිපට්ඨාන භාවනාව වැඩු බව දත යුතුය.

මෙහිදී එක ගාථාවක් අසන්ට ලැබුන පමණකින්ම මේ තරම් විශාල මනස්කාර රැසක් සිදු කළ හැකිදෝ නොහැකි දෝ හෝ යි සැක නොකළ යුතු ය. සතිපට්ඨාන භාවනා කෘත්‍යය ම හරිහැටි මෙනෙහි කරමින් භාවනා කර බලන්න. සමාධිය හා ඤාණය තරමක් දුරට වැඩිදියුණු වු කල්හි මේ මනස්කාර සමූහය එකම එක ක්ෂණයක දී පහළ වන අයුරු තමාට ම දත හැකි වෙ යි. මෙසේ අතර නොකඩවා මෙනෙහි කරමින් සිටිනා බැවින් අතීතයෙහි ඉක්ම ගිය දෙය ගැන ද කෙලෙස් ඇති නොවේ. මතු අනාගතයේ දී සිදුවෙන්ට තිබෙන දෙය ගැනද කෙලෙස් ඇති නොවේ. දැන් මේ වර්ථමාන කාලයෙහි ඇති වෙමින් පවත්නා වූ අසමින්, දකිමින්, ස්පර්ශ කරමින්, දැන ගනිමින් පවතින්නාවූ. නාමරූපයන් කෙරෙහි ද ඇතිව නැතිවන අනිත්‍ය ස්වභාව ආදිය ප්‍රත්‍යක්ෂව දැන ගැනීමෙන් තණ්හා දිට්ඨි ආදිය කෙලෙසුන්ගේ පහළවීමට අවකාශ නොලැබේ. මෙසේ සන්තති අමාත්‍යයා විසින් මෙනෙහි කළ පරිද්දෙන් ඔහුගේ කෙලෙස් සංසිඳීයාමෙන් සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙලින් ගොස් රහත් වූ බව සැලකිය යුතු ය. එහෙයින් “උපසන්තො චරිස්සසි”කෙලෙස් ගිනි නිවී යාමෙන් උපසාන්තව - සන්සුව හැසිරෙන්නෙහි ය යි වදාරා රහත් බවට ප්‍රශංසා කරමින්

“සබ්බසො නාමරූපස්මිං - යස්ස නත්ථි මමායිතං

අසතා ච න සොචති – සවෙ ලොකෙ න ජීයති.”

ය යි වදාළ සේක.

යමෙක් හට සර්වප්‍රකාරයෙන්ම නාම රූපයන් කෙරෙහි මමය මාගේ ය යි මමත්වයක් නොමැත්තේ ද එසේ ම රූප ශබ්ද ආදොය නොලැබීම නිසාත් සෝක නොකරයි ද හෙතෙම ලෝකයෙහි කිසිසේත් නොපිරිහෙන්නේ ය. යනු එහි අදහස යි.

“නසන්ති පුත්තා” යන මේ ආදී ගාථා දෙක අසන්නට ලැබීමෙන් පටාචාරාව සෝවාන් වූවා ය. එහි ප්‍රථම ගාථාවෙන් මරණයෙන් මඩනා ලද සත්වයා හට පුත්‍ර දුහිතෘ දෙමව්පිය ඥාති මිත්‍රාදීන්ගෙන් පිහිටක් නොලැබ මරණ භයට ගොදුරු වන බව වැටහීයාමෙන් සිහිය හා සංවේග ඥානය ඇතිවී ය.

“එතමත්ථවසංඤත්වා” යන මේ ආදී දෙවැනි ගාථාවෙන් අනුන්ගෙන් තමාට පිහිටක් නැති බව හා තමාට තමා ම පිහිට විය යුතු බව දැනගත් ඤාණවන්තයා විසින් සීලයෙහි පිහිටා වහා ම නිර්වාණ මාර්ගය පිරිසිදු ව වඩාගත යුතු බව දක්වන ලදි.

පටාචාරාව ද මෙකී අර්ථ අදහස් දැනගෙන සතිය හා සංවේගය ලැබ පෙර - පසුගිය කාලයෙහි කල කී දෙය නොකරමි නොකියමි යි, බණ අසමින් සිටියදීම සිල් අධිෂ්ඨාන කොට පළමුකොට සීලයෙහි පිහිටා නිර්වාණයට යන මාර්ගය වූ මේ සතිපට්ඨාන භාවනා නය ක්‍රමය වූ පරිද්දෙන් භාවනා මනස්කාරය පිහිටුවා වාඩි වූ ඉරියව්වෙහි දී ම සෝවාන් මාර්ගයට පැමිණියා ය යි දත යුතු ය. බණ අසන කල්හි මාර්ග ඵලයන්ට පැමිණි හැම පුද්ගලයෙක් ම මේ සතිපට්ඨාන ක්‍රමයෙන් ම පැමිණෙන බව දත යුතු ය. එහෙයින් අටුවායෙහි:

“යස්මා පන කාය වෙදනා චිත්ත ධම්මෙසු කඤ්චිධම්මං අනාමසිත්වා භාවනා නාම නත්ථි, තස්මා තෙපි ඉමිනාව මග්ගෙන සොක පරිදෙවෙ සමතික්කන්තා” යි

කී බැවින් බණ අසමින් සිටියදී මාර්ගඵලයන්ට පැමිණෙන අයද මේ සතිපට්ඨාන මාර්ගයෙන් ම පැමිණෙන බව ස්ථිර වශයෙන් ම දත යුතු ය. මේ අටුවා පාඨය විස්තර කළ ටීකායෙහ් වනාහි ගාථාව සහ චතුස්සත්‍යය කර්මස්ථානය ද අසා සතිපට්ඨාන භාවනාවෙන් ම විශේෂාධිගමයට පැමිණි බැව් කියන ලදී. ඒ කියමනෙහි වරදක් නැත.

තවද පාටාචාරාව සෝවාන් මගට පැමිණ පරිදේවය ඉක්මවී යැ යි කී තන්හි චෝදනාවක් ද ඇත. එනම්, අනාගාමී මාර්ගයෙන් ම සහමුලින් ම පහකළ යුතු පරිදේවය සෝවාන් මගින් පහවූයේ කෙසේද? යන්න යි. පරිදේවයට කරුණු වන දොමනස් සිත සහමුලින් පහකළ නොහැකි බව නම් ඇත්තකි. එහෙත් පටාචාරා ව පූර්ව භාග විදර්ශනා මාර්ගය හා සමග සෝවාන් මගින් පරිදේව දොමනස්සය දුරු කොට නොබෝ කලකින්ම මතු මාර්ගත්‍රයට පැමිණියා ය. සෝවාන් මගට පැමිණි තැන් පටන් ඇගේ සිත් සතන්හි ඒ පරිදේව දොමනස්සය නැවැත ඉපදීමට මත්තෙන් අනාගාමී මාර්ගය පහළ විය. ඒ මාර්ගයෙන් ඒ පරිදේව දොමනස්සය සහමුලින් පහව ගිය නිසා එසේ වදාළ බව සැලකිය යුතු ය.

මෙසේ වැදෑරීමට හේතුව නම්, මැදුම් සඟි “චූලවෙදල්ල සූත්‍රයෙහි” හැම සුඛ වේදනාවෙක්හි රාගානුසය සැඟ වී තිබේ ද? “හැම සුඛ වේදනාවෙක්හි රාගානුසය පහකළ යුතු ද?” යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී ප්‍රථම ධ්‍යානයෙන් කාමරාගය දුරුකොට එයින් කාමරාගයෙන් ඈත් වීම එක කරුණකි. අනාගාමි මාර්ග යට පැමිණියහුගේ ප්‍රථමධ්‍යානයෙහි

කාම රාගානුසය නැතැයි ද ප්‍රථමධ්‍යානයෙන් ම කාමරාගය පහකළේ ය යි ද විසඳන ලදී. එසේ විසඳූ තන්හි ද අනාගාමි මාර්ග යෙන් ම සහමුලින් පහකළ යුතු කාමරාගානුසය ප්‍රථමධ්‍යානය ඇති වූ තැන් සිට ම ඉපදීමට අවකාශයක් නොවූ බැවින් ප්‍රථම ධ්‍යානයෙන් ම පහ කළේ ය යි විසඳන ලදී. එසේ විසඳූ තන්හි අනාගාමි මාර්ගයෙන් ම සහමුලින් පහකළ යුතුවූ කාමරාගානුසය, ප්‍රථම ධ්‍යානය පහළ වූ තැන් සිට ඉපදීමට අවකාශයක් නොමැති බැවින්, ප්‍රථම ධ්‍යානයෙන්ම පහකළේ ය යි විසඳුවාක් මෙන් මෙහි දී ද ආනාගාමි මාර්ගයෙන් ම නිරවශේෂයෙන් ම පහ කළ යුතු වූ පරිදේව දොමනස්ස සිත්, සෝවාන් මාර්ගය පහළ වූ තැන් සිට ඉපදීමට අවකාශයක් නොමැති වූ බැවින් සෝවාන් මගින් ඉක්ම වී ය යි කිව යුතු ය.

ශක්‍රදේවේන්ද්‍රයාගේ හා සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාගේ දොම්නස දුරුවූ බව ප්‍රකාශ කළ තන්හි ද මේ නය ක්‍රමය ම දත යුතු ය. ඒ දෙදෙන සෝවාන් වූ තැන් පටන් ඉස්සා මච්ඡරිය දෙදෙනාගේ හා අපාය භය හා සම්බන්ධ වූ දොම්නසගේ පහළ වීමට අවකාශයක් ඇති නොවී ය. රූප කයෙහි උපදනා රිදුම් කැක්කුම් දුක් වේදනා විඳීම් සියල්ල දුක්ඛ නම් වේ. සිතෙහි උපදනා රිදුම් කැක්කුම් දුක් වේදනා සියල්ල දෝමනස්ස නම් වේ. මේ දුක් දොම්නස් දෙකොටස ම සතිපට්ඨාන භාවනාවෙන් දුරු කළ හැකි ය. මේ සතිපට්ඨාන භාවනාව සම්පූර්ණයෙන් භාවිත කිරීමෙන් තිස්ස ස්ථවිරාදීන්ට මෙන් දුක්ඛය ද, ශක්‍ර දේවේන්ද්‍ර ආදීන්ට මෙන් දොම්නස ද සංසිඳ විය හැකි ය යි අටුවායෙහි කීහ.

තිස්ස තෙරුන් වහන්සේ දුක් සංසිඳ වූ ආකාරය

සැවැත් නුවර තිස්ස නම් කෙළෙඹි පුත්‍රයෙක් 40 කෝටියක් අගනා වස්තුව තමාගේ බාල සොහොයුරු චූල තිස්සට භාර කොට පැවිදිව ආරණ්‍ය සේනාසනයක විදසුන් වඩමින් වාසය කරයි. එකල්හි පැවිදි වූ තැනැත්තා සිවුරු හැර ආපසු ආවොත් ඒ වස්තුව දෙකට බෙදන්ට සිදුවේය කියා චුල තිස්සගේ භාර්යාවට සැකයක් ඇති විය. ඈ ඒ බව ස්වාමියාට ද දන්වා තිස්ස තෙරුන් මැරවීමට සොරුන් පන්සියයක් යැව්වා ය. ඔවුහු එහි ගොස් තිස්ස තෙරුන් පිරිවරා සිටියාහු ය. එවිට තිස්ස තෙරුන් වහන්සේ , “උපාසක වරුනි, නුඹලා කුමක් සඳහා ආවාහුදැ” යි ඇසී ය. “නුඹ වහසේ මැරීමට ආවෙමු” ය යි සොරු කීහ. එවිට “අද මේ එක රැයකට පමණක් ඇපයක් ඇර ගෙන මා නො මරා ජීවිතය රැක දෙව් ය යි” කීවේය. ඊට පසු ඔවුහු “හිමියනි, මෙහි දී ඔබට ඇපයක් තබන්නේ කවරෙක්දැ” යි ඇසූහ. එවිට තෙරුන් වහන්සේ මහා කලු ගලක් ඔසවා කලවා ඇට දෙක ම බිඳ ගෙන, “උපාසකවරුනි, මේ ඇපය ඇත්දැ”යි ඇසුවේ ය. එයින් තෘප්තියට පැමිණි සොරමුල සක්මනේ කෙළවරක ගිනි මොලවා රැය එලිවෙන තෙක් නිදා ගත්හ. තෙරුන් වහන්සේ බලවත් දුක්ඛ වේදනාව වේදනානුපස්සනා වශයෙන් මෙනෙහි කොට දුරු කළහ. ඉක්බිති තමන් වහන්සේගේ සීලය පිරිසිදු බව මෙනෙහි කිරීමෙන් සතුට හා බලවත් ප්‍රීතිය පහළ විය. මෙසේ ඉවසිය නො හැකි වූ දුක් වේදනාව සංසිඳීයාමෙන් උපදිමින් පවත්නා නාම රූප ධර්මයන් මෙනෙහි කරමින් විපස්සනාව පිළිවෙළින් වැඩි දියුණු කොට ගෙන උදේ අරුණ නගිනවාත් සමග ම රහත් වූ සේක. රහත් වීමෙන් පසු:

“අට්ටියාමි හරායාමි - සරාග මරණං අහං

එවාහං චින්තයිත්වාන - යථාභූතං විපස්සයිං

සම්පත්තෙ අරුණුග්ගම්හි - අරහත්තමපාපුණිං”

යනුවෙන් උන්වහන්සේ තුළ ඇති වූ සතුට සොරුන් ඉදිරියෙහි ප්‍රකාශ කළ සේක.

“උපාසකවරුනි! මම රාග සහිත මරණය පිළිකුල් කරමි. රාග සහිත මරණයට මම ලජ්ජාවෙමි ය යි මෙසේ සිතා මේ කය ඇති සැටියෙන් විපස්සනා ඤාණයෙන් මෙනෙහි කෙළෙමි. ඒ නිසා හිරු උදාවන කල්හි රහත් බවට පැමිණියෙමි.” යනු එහි අදහස යි.

රහත් ඵලයට පැමිණ පිරිනිවන් පෑ කල්හි දුක් සියල්ල සහමුලින් සංසිඳී ගියේ ය.

ව්‍යාඝ්‍රයකු විසින් කනු ලැබූ තරුණ භික්ෂුවක් දුක් වේදනාව සංසිඳ වූ සැටි

භික්ෂන් වහන්සේලා තිස් නමක් වස් කාලයක බුදුරජාණන් වහන්සේ ගෙන් කමටහන් ගෙන එක්තරා ආරණ්‍ය සේනාසනයක වස් සමාදන් ව කමටහන් වඩමින් විසූහ. භාවනාවට සප්පාය වන ගස් යට පඳුරු යට වැඩ හිඳ ගෙන භාවනා කරති. මුලු රැයෙහි ම භාවනා කොට උදෑසන හිමිදිරියේ නිදිබර වූ කල්හි එක් ව්‍යාඝ්‍රයෙක් අවුත් එක් එක් භික්ෂුවක් ඩැහැ ගෙන යයි. අනිත් භික්ෂුන්ගේ සමාධියට බාධා වේ ය යි සිතා තමා ව්‍යාඝ්‍රයකු විසින් ඩැහැගත් බව හැඟවීමට ඝෝෂා නොකරයි. මේ ක්‍රමයෙන් භික්ෂුන් පසළොස් නමක් අඩු වූ කල්හි ඒ පිරිසෙහි සිටි සංඝ ස්ථවිරයන් වහන්සේ ඒ බව සොයා පරීක්ෂා කොට දැන ගෙන මින්පසු එවැනි විපතක් ඇතිවුවහොත් අනිත් භික්ෂුන්ට දැන් විය යුතු ය යි නියම කළහ.

නැවත එක් දවසක්හි ව්‍යාඝ්‍රයා අවුත් එක් තරුණ භික්ෂුවක් ඩැහැගත්තේ ය. එවිට ම ඒ භික්ෂුව “ව්‍යාඝ්‍රයෙක් ස්වාමීනි! ව්‍යාඝ්‍රයෙක් ස්වාමීනි!!” යයි කෑගැසීය. සෙසු භික්ෂූන් වහන්සේලා ද ඒ ශබ්දය අසා සැරයටි ගිනි හුල් ආදිය හැරගෙන ඒ භික්ෂුව මුදවා ගැනීමට වෑයම් කළාහු ය. එහෙත් ව්‍යාස්‍රයා භික්ෂූන්ට යා නො හැකි තැනකට ඒ භික්ෂුව ගෙන ගොස් එක් තැනක තබා ගෙන කකුල්වල මාපටැඟිලිවල සිට කන්ට පටන් ගත්තේ ය. භික්ෂුහු ද අහෝ! සත්පුරුෂය දැන් ඉතින් අපට කළ හැකි උදව්වක් නැත. මෙය භික්ෂුවකගේ ශක්ති විශේෂය වූ චිත්ත බලය මත කරගත යුතු අවස්ථාවකි. එහෙයින් සතිපට්ඨාන භාවනායෙහි යෙදෙන්න” යයි අවවාද කළහ. ඒ භික්ෂුව ද ව්‍යාඝ්‍රයා විසින් කනු ලැබීමේ දී ඇති වූ දරුණු දුක් වේදනාව මෙනෙහි කරමින් ප්‍රීතිමෝදය උපදවා ඒ වේදනාව විෂ්කම්භනය කොට (දුරුකොට) එකෙණෙහි පහළ වූ නාම රූප ධර්මයන් විදර්ශනා නුවණින් බලා ගොස් ඇටය දක්වා කෑ කල්හි සෝවාන් බවට ද, දනහිස් දක්වා කෑ කල්හි සකදාගාමි බවට ද, නාභිය දක්වා කෑ කල්හි අනාගාමී බවට ද, හෘදය වස්තුවට සමීප වනවිට සිව්පිළිසිඹියා රහත් බවට ද පැමිණ සියලු සංසාරික දුකින් මිදුනුසේක.

ශක්‍ර දේවේන්ද්‍රයාගේ දොම්නස සංසිඳ වූ සැටි

මහේශාක්‍ය දෙවි කෙනෙක් දෙව් ලොවින් චුත වන කල්හි පෙර නිමිති පසෙක් පහළ වෙයි. එනම්, පැළඳ සිටින මල් පරවීම ය, ඇඳ සිටින වස්ත්‍ර මඩේ දැමුවාක් මෙන් කිලිටිවීම ය, කිසිලි ආදියෙන් දහඩිය වැගිරීම ය, කය දුර්වර්ණ වීම ය, ස්වකීය දිව්‍ය ආසනයෙහි සිත නො ඇලීම ය යන මේ පස ය. මරණයට ආසන්න වූ විට පහළ වන පූර්ව නිමිති පහ දුටු ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ, තමාගේ මරණය ගැන ද මරණයෙන් පසු තමාට වඩා උසස් ශක්‍රයකු ගේ පහළවීම හා තමා අයත් වස්තුව අන්‍යයකුට අයත් වීම ගැන ද, සෝකයෙන් තැවුණු සිත් ඇති ව වෙහෙස ව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ දෙව් මිනිස් සත්ව සමූහයා දුක් කරදර වලින් මිදී වසනු කැමති වුවත්, එයින් නො මිදී ඒ දුක් පීඩාවන්ගෙන් යුක්තව ම වාසය කරන්නේ කුමක් නිසාදැයි යන මේ ආදී ප්‍රශ්නයන් විචාළේ ය.

එකල්හි බුදු රජාණන් වහන්සේ විසින්, “ඉස්සා මච්ඡරිය සංයෝජනා ඛො දෙවානමින්ද දෙවා මනුස්සා සන්ති, තෙ විහරෙමු අවෙරිනොති ඉති ච තෙසං හොති අථව පන තෙ විහරන්ති සවෙරිනො” යනුවෙන් අනුන් විඳින සම්පත් නොරුස්සන ඊර්ෂ්‍යාව හා, තමන්ගේ සම්පත් අනුන් හා සාධාරණ නො කරනු කැමැත්ත වූ මච්ඡරිය ද, යන මේ සංයෝජන දෙක ඇති බැවින් ද දෙව් මිනිස් සමූහයා සුවපත් වනු කැමති වුවත්, දුක් කරදර වලින් මිදෙනු කැමති නමුත්, ඒ දුක් කරදර සමග ම වාසය කරන්නට සිදු වී ඇතැ යි විසඳා වදාළ සේක. මේ කරුණ සඳහන් වනුයේ “සක්ක පඤ්හ” සූත්‍රයෙහි ය. ඒ දේශනාවෙහි සේවනය කළ යුතු වූ ද, නො කළ යුතු වූ ද වේදනාවන් බෙදා දක්වද් දී, ඒ ධර්මය අවබෝධ වීමෙන් සේවනය නොකළ යුතු වූ ගේහසිත වේදනාවන් පහ කිරිමෙන්, සේවනය කළ යුතු වූ නෙක්ඛම්ම නිශ්ශ්‍රිත වේදනාවන් උපදවාගෙන සතිපට්ඨාන භාවනාව වඩා සෝවාන් බවට පැමිණ, මුල දී උපදිමින් තිබුණ ඉස්සා මච්ඡරියයන් පිළිබඳ වූ දොම්නස දුරු කෙළේ ය.

සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාගේ දොම්නස පහ කළ ආකාරය

සුබ්‍රහ්ම නම් දිව්‍ය පුත්‍රයා දෙව් ලොව ස්වර්ග සම්පත් විඳින කල්හි එක් දවසක් දහසක් දෙවඟනන් පිරිවරා නන්දන වනයට ගොස් ක්‍රීඩා කරමින් සිටිය දී, එයින් පන්සියයක් දෙවඟනුන් මල්ගසක් උඩට නැගී මල් කඩා දමමින් ක්‍රීඩා කරන කල්හි මඳ වේලාවකින් ඒ ගස උඩ සිටිය පන්සියයක් දෙවඟනුන් උපච්ඡේදක අකුශල කර්මයකින් දෙව් ලොවින් චුතව නිරයෙහි උපන්නාහු ය. ඒ බව දුටු දිව්‍ය පුත්‍රයා තව සත් දිනකින් ඉතිරි දෙවඟනුන් පන්සියය හා සමඟ තමනුත් නිරයෙහි උපදින බව දැන, එයට බලවත් දොම්නස් ඇති ව මගේ මේ දොම්නස බුදුරජාණන් වහන්සේ හැර වෙන කෙනෙකුට සංසිඳවිය නොහැකි ය යි ඉතිරි දෙවඟනුන් සමග උන්වහන්සේ කරා එළඹ

“නිච්චං උත්‍රස්තමිදං චිත්තං - නිච්චං උබ්බිග්ගමිදං මනො

අනුප්පන්නෙසු කිච්ඡෙසු - අථො උප්පතිතෙසු ච

සචෙ අත්ථි අනුත්‍රස්තං - තං මෙ අක්ඛාහි පුච්ඡිතො”

යනුවෙන් “ ස්වාමීනි! භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, අපගේ සිත මතුවට ඇති වන්නා වූ දුක් නිසා ද, දැන් ඇතිව පවත්නා දුක් නිසා ද, නිතර ම සෝකයෙන් හා බියෙන් තැති ගනිමින් පවතී. එසේ තැති නො ගන්නා ක්‍රමයක් ඇත්නම් එය වදාළ මැනවැ”යි සැළ කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ,

“නාඤ්ඤත්‍ර බොජ්ඣා තපසා - නාඤ්ඤත්‍රින්ද්‍රිය සංවරා

නාඤ්ඤත්‍ර සබ්බනිස්සග්ගා - සොත්ථිං පස්සාමි පාණිනං.”

යන ගාථාවෙන්, “බෝධි-තප-ඉන්ද්‍රියසංවර-සබ්බනිස්සග්ග යන මේ ධර්‍ම සතර ම, මේ සත්ත්වයන්ට භය තැති ගැනීම් දුරු කොට, සැප ලබා ගැනීමට ඒකාන්තයෙන් උපකාර වන කරුණු සතරය’” යි වදාළ සේක. සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා ද ඒ ධර්මය අවබෝධ කොට ගෙන සබ්බ නිස්සග්ග (සියල්ල අත්හැර දැමීම) ය යි කියන ලද නිවන් අවබෝධය සඳහා ඉන්ද්‍රිය සංවරයෙන් සිත ආරක්ෂා කොට ගෙන, තප ය යි කියන ලද කෙලෙස් තවන සම්මප්පධාන වීර්යයෙන් නොකඩවා මෙනෙහි කළ හැකි පරිදි වෑයම් කොට, බෝධි පක්ඛිය නම් වූ පූර්වභාග විදර්ශනා මාර්ගය හා සමඟ ආර්යය මාර්ගය ක්ෂණයකින් වඩා, පිරිවර දෙවඟනුන් හා සමග සෝවාන් වීමෙන් අපාය භය පිළිබඳ දුක් දොම්නස් වලින් නිදහස් වීය. මෙහි බෝධිය, තපය, ඉන්ද්‍රිය සංවරය යන මොවුහු “සතිපට්ඨාන භාවනායෙහි” ම ඇතුළත් වෙති.

මෙතැන්හි එකී ධර්මයන් උපදවා ගතයුතු ප්‍රතිපත්තිය ක්‍රමයෙන් ඉන්ද්‍රිය සංවර - තප - බොධි - සම්බනිස්සග්ග ය යි පිළිවෙලින් ගළපා ගත යුතු ය. ඇස, කණ, නැහැය, දිව, කය, සිත යන මේ ඉන්ද්‍රිය සය සිහියෙන් රැකගන්නා යෝගාවචරයා තුළ, ලක්ඛනාහාර නයින් සතර සංවර සීලය ම ඇති විය යුතු ය. සීලයෙහි පිහිටි යෝගී පුද්ගලයා කෙලෙස් තවන-තපෝ ගුණයෙන් යුත්ත ව විවේකස්ථානයකට පැමිණ විදර්ශනා වඩන කල්හි, කාමාවචර කුශල චිත්තයෙහි සති, ධම්මවිචය, වීරිය, පීති ආදී බොධ්‍යඞ්ග ධර්ම තාවකාලිකව පහළ වෙයි. එයට අනතුරුව උපදනා මාර්ග චිත්තයෙහි ඒ ධර්ම ස්ථිරව පහළ වෙයි. එකී ලෞකික-ලෝකෝත්තර බෝධ්‍යඞ්ග සියල්ල පිඬුකොට එය චතුස්සත්‍යාවබෝධයට උපකාර වන නිසා බෝධි ය යි කියනු ලැබේ. මෙහි සබ්බනිස්සග්ග යනු සියල්ල අතහැර දැමීම ය යි කියන ලද නිර්වාණ ය යි. ඉන්ද්‍රිය-තප-බෝධි යන මේ ධර්මයන් වැඩි දියුණු වීමෙන් කිලෙස වට්ටය සහමුලින් පහව ය යි. කිලෙස වට්ටය පහ ව යෑමෙන් කම්ම වට්ටය ද, එයට අනතුරු ව විපාක වට්ටය ද, යන මේ වට්ට තුන පහව යෑමෙන් සබ්බ-නිස්සග්ග සංඛ්‍යාත නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළ යුතුය යනු “නාඤ්ඤත්‍ර බොජ්ඣා” යන ආදී ගාථාවේ අදහස යි. ( දෙවපුත්ත සංයුක්තයෙහි සුබ්‍රහ්ම සූත්‍රය)

ඤායස්ස අධිගමාය

මෙහි ‘ඤාය’ යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ලෝකෝත්තර මාර්ගය ලබන්නට ප්‍රථමයෙන් ලෞකික වූ සතිපට්ඨාන භාවනා මාර්ගය භාවිතා කළ යුතු යි. ලෞකික මාර්ගය භාවිතා කිරීමෙන් ලෝකෝත්තර මාර්ගයට පැමිණිය හැකි ය. එහෙයින් “ඤායස්ස අධිගමාය” යි කීහ.

නිබ්බානස්ස සච්ඡිකිරියාය

වාන සංඛ්‍යාත වූ තෘෂ්ණාවෙන් නික්මෙන බැවින් නිර්වාණය ය යි ලද නම් ඇති අමා සුවය අත් දැකීම පිණිස යනු එහි තේරුම යි. මේ මාර්ගය වැඩීමෙන් පිළිවෙළින් නිර්වාණ සුඛය ප්‍රත්‍යක්ෂ කළ හැකි ය. එහෙයින් “නිබ්බානස්ස සච්ඡිකිරියා ය” යි කීහ. හෙද ඵල ඥානයට අරමුණු වන නිර්වාණය ම යැ යි “මූලපණ්ණාස ටීකා” යෙහි කීහ.

මෙ තන්හි ආර්යය මාර්ගයට පැමිණීම පිණිස, නිවන් සුව අත්පත් කර ගැනීම පිණිස, සම්මප්පධානය ආදී වෙනත් භාවනා ක්‍රම තිබෙනවා නොවේ ද? එය එසේ ය. එහෙත් සතිපට්ඨානයෙන් තොර ව සම්මප්පධානය ආදී භාවනාවක් ඇති විය නොහැකි ය. එහෙයින් ම මේ සතිපට්ඨානය ආර්ය මාර්ගයට පැමිණීමට ත්, නිවන් සුව අත්පත් කර ගැනීමට ත් “එක ම මාර්ගය” ය යි කියා වදාරණ ලදී.

මෙ තන්හි සති චෛතසිකය ම සතිපට්ඨානය යි කියනු ලැබුවේ ප්‍රධාන න්‍යායයෙනි. තනිකර සති චෙතසිකයෙන් භාවනා කෘත්‍යය සිදු නොකළ හැකි ය. වීරිය පඤ්ඤාවන් හා එක්වීමෙන් ම භාවනා කෘත්‍යය සිදුවිය යුතු ය. “ආතාපීසම්පජානො” යනුවෙන් වීරිය - පඤ්ඤා දෙක ද සතිපට්ඨාන භාවනාවෙහි ඇතුළත් කොට වදාළේ එහෙයිනි.

විශේෂයෙන් දත යුත්තක්:

මේ සතිපට්ඨාන භාවනාව ම ආර්ය මාර්ගයට හා නිර්වාණයට පැමිණීමට එක ම මාර්ගය ය යි වදාළ බැවින්, සතර සතිපට්ඨානයෙන් තොර වූ භාවනා ක්‍රම සියල්ල නිවනට නොපමුණුවන අමාර්ගයන් බව දත යුතු ය.

උද්දේස වාරය

“කතමෙ චත්තාරො? ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා - දොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා - දොමනස්සං, ධම්මෙසු ධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා - දොමනස්සං.”

පාලි පාඨයෙහි තේරුම

ඒ සතර සතිපට්ඨානයෝ කවරහු ද? මේ සර්වඥ ශාසනයෙහි කෙලෙස් තවන වීර්යය සහ යහපත් සිහි නුවණ ඇති මහණ තෙමේ, නොහොත් භාවනානුයෝගී තෙමේ, අනිත්‍ය - දුක්ඛ- අනාත්ම -අසුභ වූ මේ රූප කයෙහි රූප කය අනුව අනිත්‍යාදී වශයෙන් බලමින් එම රූපකය වූ උපාදානස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ක්‍රෝධය තදඞ්ග - විෂ්කම්භණ වශයෙන් දුරු කොට වාසය කරයි.

එසේ ම යට කී භාවනානුයෝගී තෙමේ සැප - දුක් විඳීම් ආදී වේදනාවන් කෙරෙහි වේදනාවන් අනුව අනිත්‍යදී වශයෙන් බලමින් එම වේදනා සංඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව (දැඩි ලෝභය) හා දොස (ක්‍රෝධය) තදඩ්ග - විෂ්කම්භණ වශයෙන් දුරු කොට වාසය කර යි.

අරමුණු දැන ගන්නා සිතෙහි එම සිත අනුව අනිත්‍යාදී වශයෙන් බලමින්, එම සිත ය යි කියන ලද ලෝකයෙහි ලෝභය හා ක්‍රෝධය තදඞ්ග-විෂ්කම්භණ වශයෙන් දුරුකොට වාසය කර යි.

නීවරණ ආදී ස්වභාව ධර්මයන් කෙරෙහි ඒ ඒ ස්වභාව ධර්ම අනුව අනිත්‍යාදී වශයෙන් බලමින්, එම ස්වභාව ධර්ම සංඛ්‍යාත ලෝකයෙහි ලෝභය හා ක්‍රෝධය තදඞ්ග-විෂ්කම්භණ වශයෙන් දුරුකොට වාසය කර යි.

සතිපට්ඨාන භාවනාව භික්ෂූන්ට හැර සෙසු අයට නුසුදුසු ද?

භික්ෂු - භික්ෂුණී - උපාසක-උපාසිකා, දිව්‍ය-බ්‍රහ්මාදීගේ වශයෙන් සතිපට්ඨාන භාවනාවේ යෙදෙන පිරිස කොටස් වශයෙන් බොහෝ වුව ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නා පිරිසෙහි භික්ෂුන් වහන්සේ ප්‍රධාන බැවින් ප්‍රධාන න්‍යායයෙන් භික්ෂූන්ට වදාළ නමුත්, අප්‍රධාන වූ සෙසු සියලු දෙනාට ම මේ භාවනාව සුදුසු බව සැලකිය යුතු ය. “රජතුමා පැමිණ සිටී’” ය යි ප්‍රකාශ කළ විට සෙසු පිරිස ද එතුමා සමඟ පැමිණි බව දත යුතු වන්නාක් මෙනි.

නොහොත් “පටිපන්නකො හි දෙවො වා හොතු මනුසො වො භික්ඛුති සබ්බං ගච්ඡතියෙව” යි අටුවාවෙහි කී බැවින් දෙවියෙක් වේ වා මිනිසෙක් වේ වා උපාසකයෙක් වේ වා උපාසිකාවක් වේ වා කවුරු හෝ වේ වා මේ භාවනාවෙහි යෙදුනු තැනැත්තා භික්ෂු නාමයෙහි ඇතුළත් වේ.

ආතාපී සම්පජානෝ සතිමා

යන මේ පද තුනෙන් කායානුපස්සනාවට උපකාර වන ධර්මයන් ස්වරූප වශයෙන් උදුරා දක්ව යි. රූප සමූහ ය යි කියන ලද කය නිත්‍ය නො වේ. දුක් රැසක් වේ. ආත්මයක් නො වේ. අශුභ වූ වස්තුවකි. මෙසේ මේ රූප කය අනිත්‍ය ය, දුක් ය, අනාත්ම ය, අශුභ ය යි කියා ඇති සැටියෙන් බලන්නා වූ ද ඥානය කායානුපස්සනා ව යි. ඒ භාවනාවෙන් තොර වූ පුද්ගලයා රූපකය කෙරෙහි අතිශයින් ම වරදවා වටහා ගනී. කෙසේද යත්? ජීවිතාන්තය දක්වා පවතින්නේ එක මම රූපයක් ය යි ද, සත්වයෙක් ය යි ද, ඒ රූපය සුවපත් ව පවත්වන්නේ ය යි ද, එය ම ආත්මයක් ය යි ද, වටහා ගනී. ආත්මය වූ තමාට කැමති පරිදි යත හැකි ය. කනු බොනු හැකි ය. කළ හැකි ය, සතුටු විය හැකි ය, මේ රූප කර සෝභන වූ ශරීරයක් ය යි වරදවා වටහා ගනී. මෙසේ තදින් වරදවා වටහා ගෙන, පවත්නා රූප කය කෙරෙහි අනිත්‍ය ය, දුක ය, අනාත්ම ය, අශුභ ය යි කියා ඇත්ත ඇති සැටි වටහා ගැනීම ඉතා දුෂ්කර ය. එහෙයින් ලෝකයෙහි ප්‍රකෘති ඇසින් නොදැකිය හැකි කුඩා දෙයක් වෙයි නම්, ඒ කුඩා දෙය ලොකු කොට පෙන්වන කණ්ණාඩියෙන් බලා හරිහැටි දැකිය හැකි වන්නාක් මෙන්, යෝගී පුද්ගලයාට කයේ තත්වාකාර ය බලා ගැනීම පිණිස උපකාර වන ධර්‍ම කොටසක් ද ඇත. එනම්, විරිය, සති, සමාධි, පඤ්ඤා යන මේවා ය. මෙකී විරිය, සති, ආදියෙන් රූප කයෙහි ඇති සැටි බලන ආකාරය දක්වනු පිණිස “කායේ කායානුපස්සී විහරති. ආතාපී සම්පජානෝ සතිමා” ය යි වදාළ සේක.[1]

යෝගියා විසින් රූපකයෙහි ප්‍රකට ව පවත්නා රූප ක්‍රියා සියල්ල නුවණට වැටහෙනු පිණිස නො කඩවා වෑයම් කළ යුතු ය. මේ වෑයම් කිරීම ආතාප ය යි කියන ලද “සම්මප්පධාන වීර්යය”ය යි. මේ තියුණු වීර්යයයෙන් නොකඩවා වෑයම් කළහොත්, යෝගියා තුළ උපදනා තාක් රූප සියල්ල අත් නොහැර සිහි කළ හැකි ය. එසේ සිහිකළ හැකිවීම සති නම් වේ. ඒ සතිය දියුණු තියුණු වූ කල්හි ක්ෂණයක් ක්ෂණයක් පාසා නොයෙක් අරමුණුවල විසිර යමින් පැවති සිත එක ම අරමුණෙක්හි පිහිටු වන සමාධිය පහළ වී එන්නේ ය. මේ සමාධිය වනාහි සිහියගේ ආනුභාවයෙන් හටගන්නා වූ “විපස්සනා ඛණික සමාධිය” මැ යි. මේ සමාධිය වැඩිදියුණු වූ කල්හි රූපක්‍රියා සියල්ල ප්‍රකටව වැටහී එන්නේ ය. කොටස් කොටස් වශයෙන් ද වැටහී එන්නේ ය. රූපයන් ඉපිද නැතිවීම ද දත හැකි වන්නේ ය. ඒ සියල්ල අනිත්‍යය, දුකය, අනාත්මය. අශුභ ය යි කියා දත හැකි වන්නේ ය. මෙසේ දත හැකි වීම “සම්පජඤ්ඤ” නම් අනුපස්සනා ඥානය යි. උපදනා තාක් රූපක්‍රියා සියල්ල නොකඩවා අත් නොහැර මෙනෙහි කරන යෝගියා කෙරෙහි යට දැක් වූ විරිය, සති, සමාධි, අනුපස්සනා ඥාන යන ගුණ ධර්ම සතර ම සම්පූර්ණ වන්නේ ය. මේ රූප කය අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ, අශුභ වූ රූප කයක් ම ය යි ඇති සැටියෙන් දත හැකි වීම කායානුපස්සනාව සම්පූර්ණ කිරීම ය යි කියනු ලැබේ. එහෙයින් “කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා” යනු වදාරණ ලදී.

“විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෙමනස්සං” යන වාක්‍යයෙන් භාවනාවගේ ඵලය දක්වන ලදී. කෙසේ ද ය? කය පිළිබඳ රූප ක්‍රියාවන් කෙරෙහි ඉහත දැක් වූ පරිදි මෙනෙහි නොකළ හැකි වුව හොත් ඒ රූප ක්‍රියා සියල්ල නිතර පවත්නා ආත්මයක් ය, මම ය, සුවසේ වාසය කරන සත්වයෙක් ය යි වරදවා වටහා ගැනීමෙන්, අභිජ්ඣා නම් වූ දැඩි ලෝභය හෝ තව ඇතිවිය හැකි ය. රූප කයට පීඩා ඇති වීමෙන් වෙනස සහිත තරහ, ක්‍රෝධ ඇතිවිය හැකිය.

සත්වයන් තුළ ලෝහ දොසයන් ඇතිවීම මේ ආකාරයෙන් ම සිදුවන්නේ ය. රූප කය පිළිබඳ ඒ රූප ක්‍රියාවන් කෙරෙහි ලෝභය හා ද්වේෂය ඇති නොවන පරිදි, අනිත්‍යාදී වශයෙන් ඇති සැටියෙන් දැක ගැනීම ම අනුපස්සනා ඤාණයෙන් තදඞ්ග වශයෙන් කෙළෙස් පහ කිරීමය යි කියන ලදී. මේ දැක්වූයේ මෙනෙහි කළ අරමුණෙහි තදඞ්ග වශයෙන් ලෝභ දෝෂයන් පහව යන ආකාර ය යි.

තවද ප්‍රකටව පවත්නා රූප ක්‍රියා සියල්ල නොකඩවා මෙනෙහි කිරීමෙන් අනිත්‍යය, දුක්ය, අනාත්මය යි කියා දැන ගන්නා වාරයක් පාසා විරිය, සති, සමාධි යන සමාධිස්කන්ධ ධර්මයෝ දියුණු තියුණු ව පහළ වෙත්. මේ සමථයාගේ බලයෙන් චිත්තය අතිශයින්ම මෘදු මොලොක් වෙයි. කල් යත් යත් ක්‍රම ක්‍රමයෙන් මෘදු මොලොක් බවට පත් වෙයි. එහෙයින් මෙනෙහි නොකරණු ලැබූ අන්‍ය වූ රූප, වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන් කෙරෙහි ද, සිතා මතා බැලීමෙන් ලෝභය හා දෝෂය බොහෝ සෙයින් ඇති නොවීමෙන් සංසිඳී යන්නට පුළුවන. මෙනෙහි නොකොට වාසය කරන කල්හි ද ඖදාරික ලෝභය හා දෝෂය පෙර මෙන් ඇති නොවී සන්සුන් විය හැකි ය. එවිට ඖදාරික ක්ලේශයන් තමා තුළ පහළ නොවන්නේ ය යි යෝගියාහට වැටහෙන්නේ ය.

මේ දැක්වූයේ මෙනෙහි, නොකළ අරමුණෙහි විෂ්කම්භණ වශයෙන් ලෝහ දෝෂයන් පහ ව යන ආකාර ය යි. මෙසෙයින් මෙනෙහි කළ අරමුණහි කෙලෙස් සංසිඳ වීම ය යි කියන ලද තද විනය හා, මෙනෙහි නො කළ අරමුණෙහි කෙලෙස් සංසිඳ වීම යයි කියන ලද විෂ්කම්භණ විනය යන, මේ භාවනා ඵල දෙක යෝගියාහට මෙනෙහි කිරීමක් පාසා ලැබිය හැකි ය. මෙකී ඵල වය ලැබීම සඳහා ප්‍රකට වනතාක් රූපක්‍රියා සියල්ල ම නො කඩ වා මෙනෙහි කිරීමෙන් කායානුපස්සනාව වැඩිය යුතු යයි දත යුතු ය. වෙදනානුපස්සනා ආදියෙහි ද මේ ය ක්‍රමය මැයි.

විශේෂය නම් - කයෙහි අශුභ වශයෙන්ද වෙදනා, චිත්ත, ධම්ම යන මොවුන් කෙරෙහි පිළිවෙලින් දුඃඛ අනිත්‍යය, අනාත්ම වශයෙන් ද මෙනෙහි කළ යුතු ය යි වෙසෙසා අටුවාවෙහි කියන ලදී. සාමාන්‍යයෙන් වනාහි කාය, වේදනා, චිත්ත, ධම්ම යන සියල්ල ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අශුභ වශයෙන් මෙනෙහි කළ යුතු ය.

කායානුපස්සනායෙහි (1) ආනාපාන පබ්බය

නිර්දේශවාරය

පාලි

කථච පන භික්ඛවෙ භික්ඛු කායේ කායානුපස්සී විහරති. ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛ මූලගතෝ වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලකං ආභුජිත්වා උජු කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨ පෙත්වා.

එහි කෙටි අදහස

“මහණෙනි! සසර භය දක්නා අර්ථයෙන් භික්ෂු නම් වූ යෝගාවචර තෙමේ රූප කයෙහි රූප සමූහයක් ය යි රූප කය අනුව බලමින් කෙසේ වාසය කරයි ද? මහණෙනි, මේ ශාසනයෙහි යෝගාවචර තෙම වනයට ගියේ හෝ, භාවනාවට සුදුසු ගසක් මුලට ගියේ හෝ, ජනයාගෙන් හිස් වූ තැනකට ගියේ හෝ, පලඟ බැඳ උඩුකය කෙලින් තබා ගෙන සිහිය කමටහන් අරමුණට යොමු කොට එලවා තබා ගෙන ඉඳගනී” යනුයි.

මේ කොටසින් භාවනාවට සුදුසු තැනක් පිළියෙල කිරීමේ පරිකර්‍මය දක්වන ලදී. කැලෑවක් ය, ගසක් මුල ය, පාලු ගෙයක් ය යන මෙකී ස්ථානයන් දක්වා වදාළේ පළමුවෙන් භාවනා කරන යෝගියාහට සුදුසු විවේකය ලබා ගැනීම පිණිස ය. සමාධිය හා ඤාණය දියුණු කළ පුද්ගලයාහට නම් කවර තැනක දී වුවත් භාවනා කළ හැකිය. ඒ විවෙක ස්ථාන තුණෙනුත් සුඤ්ඤාගාර ය වැඩියත් සුදුසු ය.

තවද වාඩි වී හිඳීම් ඉරියව්ව ම මෙහි දැක්වූයේ එය අලුතෙන් භාවනා පුරුදු කරන යෝගියාහට ඉතා පහසු ඉරියව්වක් වූ බැවිනි. භාවනාව පුරුදු වූ පසු සතර ඉරියව්වෙන් ම නොකඩවා භාවනා කළ යුතු ය. පළඟ බැඳ භාවනා කරන්ට නියම කළේ වැඩි වේලාවක් වාඩි වී හිඳිනු හැකි බැවිනි. පසු පසු ව වෙනත් පහසු අන්දමකින් වාඩි වී භාවනා කළාට වරදක් නැත. විශේෂයෙන් මතක තබාගත යුත්තේ වාඩිවන විට කකුලට අමාරුවක් නොදැනෙන සේ වාඩි වීමට ය. එවිට වැඩි වේලාවක් වාඩි වී හිඳ සමාධිය හා ඤාණය දියුණු කළ හැකි ය.

පාලි

සො සතොව අස්‌සසති, සතොව පස්‌සසති. දීඝං වා අස්‌සසන්‌තො ‘දීඝං අස්‌සසාමී’ති පජානාති. දීඝං වා පස්‌සසන්‌තො ‘දීඝං පස්‌සසාමී’ති පජානාති. රස්‌සං වා අස්‌සසන්‌තො ‘රස්‌සං අස්‌සසාමී’ති පජානාති. රස්‌සං වා පස්‌සසන්‌තො ‘රස්‌සං පස්‌සසාමී’ති පජානාති. ‘සබ්‌බකායපටිසංවෙදී අස්‌සසිස්‌සාමී’ති සික්‌ඛති. ‘සබ්‌බකායපටිසංවෙදී පස්‌සසිස්‌සාමී’ති සික්‌ඛති. ‘පස්‌සම්‌භයං කායසඞ්‌ඛාරං අස්‌සසිස්‌සාමී’ති සික්‌ඛති, ‘පස්‌සම්‌භයං කායසඞ්‌ඛාරං පස්‌සසිස්‌සාමී’ති සික්‌ඛති. සෙය්‍යථාපි භික්‌ඛවෙ දක්‌ඛො භමකාරො වා භමකාරන්‌තෙවාසී වා දීඝං වා අඤ්‌ඡන්‌තො ‘දීඝං අඤ්‌ඡාමී’ති පජානාති, රස්‌සං වා අඤ්‌ඡන්‌තො ‘රස්‌සං අඤ්‌ඡාමී’ති පජානාති. එවමෙව ඛො, භික්‌ඛවෙ භික්‌ඛු දීඝං වා අස්‌සසන්‌තො ‘දීඝං අස්‌සසාමී’ති පජානාති, දීඝං වා පස්‌සසන්‌තො ‘දීඝං පස්‌සසාමී’ති පජානාති, රස්‌සං වා අස්‌සසන්‌තො - පෙ - සික්‌ඛති.

එහි කෙටි අදහස

හෙතෙම සිහිය ඇති ව ම ආශ්වාස කරයි (නැහැයෙන් හුස්ම පිට කරයි.) සිහිය ඇතිව ම ප්‍රස්වාස කරයි (නැහැයෙන් හුස්ම ඇතුල් කරයි. දිව ආශ්වාස කරමින් දික්ව ආශ්වාස කරමි යි දැනගනී. කොටට ආශ්වාස කරමින් කෙටිව ආශ්වාස කරමි යි දැනගනී. කොටට ප්‍රශ්වාස කරමින් කෙටි ප්‍රශ්වාස කරමි යි දැනගනී.

ආශ්වාස කය පිළිබඳ මුල මැද අග යන සියලු තැන ම, පැහැදිලි ව දක්නා සුලු වූයේ ආශ්වාස කරන්නෙ මැ යි පුහුණු කරයි. (භාවනාවේ යෙදෙයි) ප්‍රශ්වාස කය පිළිබඳ මුල මැද අග යන සියලු තැන ම, පැහැදිලි ව දක්නා සුලු වූයේ ප්‍රශ්වාස කරන්නෙ මැ යි පුහුණු කරයි. (භාවනාවේ යෙදෙයි.)

ආශ්වාස ය යි කියන ලද ඖදාරික (ගොරෝසු) කාය සංඛාරය පිළිවෙළින් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙ මැ යි පුහුණු කරයි. ප්‍රශ්වාස ය යි කියන ලද ඖදාරික කාය සංඛාරය පිළිවෙළින් සංසිඳුවමින් ප්‍රශ්වාස කරනෙමි යි පුහුණු කරයි.

මහණෙනි ! යම් සේ ද වූ ලියන වඩුවෙක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ යම්කිසි දැව ආදී භාණ්ඩයක් ලිවීම පිණිස අතපය දිගු කොට අදිමින් දිගු කොට අදිනෙමැ යි දැනගනී ද, ලුහුඬු කොට අදිමින් ලුහුඩු කොට අදිනෙ මැ යි දැනගනී ද, මහණෙනි! එපරිද්දෙන් යෝගිතෙමේ දිගට ආශ්වාස කරමින් දිගට ආශ්වාස කරමි යි දැනගනී. කොටට ආශ්වාස කරමින් කෙටිව ආශ්වාස කරමි යි දැනගනී. කොටට ප්‍රශ්වාස කරමින් කෙටි ව ප්‍රශ්වාස කරමි යි දැනගනී.

ආශ්වාස කය පිළිබඳ මුල, මැද, අග යන සියලු තැන ම පැහැදිලිව දක්නා සුලවුයේ ආශ්වාස කරන්නෙ මැ යි පුහුණු කරයි (භාවනාවේ යෙදෙයි). ප්‍රශ්වාස කය පිළිබඳ මුල, මැද, අග යන සියලු තැන ම පැහැදිලි ව දන්නා සුලු වූයේ ප්‍රශ්වාස කරන්නෙ මැ යි පුහුණු කරයි (භාවනාවේ යෙදෙයි).

ආශ්වාස යයි කියන ලද ඖදාරික කාය සංඛාරය පිළිවෙළින් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙ මැ යි පුහුණු කර යි. ප්‍රශ්වාස ය යි කියන ලද ඖදාරික කාය සංඛාරය පිළිවෙළින් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නේ මැ යි පුහුණු කර යි.

ආනාපාන භාවනාව

මේ කොටසින් ආනාපාන භාවනාව කෙටි කර දැක් වූ සේක. හුස්ම ඇතුල් කරන පිට කරන වාරයක් පාසා සිහියෙන් යුක්තව ම මේ ක්‍රමයෙන් වෑයම් කරන යෝගියා හට -

1. “සො සතොව අස්සසති” යන ආදී ප්‍රථම නය ය.

2. “දීඝං වා අස්සසතො” යන ආදී දුතිය නය ය.

3. “සබ්බකාය පටිසංවේදී” යන ආදී තෘතීය නය ය.

4. “පස්සම්භයං කාය සංඛාරං” යන ආදී චතුර්ථනය ය.

යන මේ නය ක්‍රම සතරින් විස්තර කොට දැක් වූ පරිදි විශේෂයෙන් අරමුණු වැටහෙන ආකාරය හා විශේෂ සිදුවීම් සියල්ල ඉබේටම වාගේ පිළිවෙළින් සම්පූර්ණ වන්නේ ය.

එය එසේ මැ යි. නාසයෙන් පිටවන - ඇතුල්වන වාතය හැපෙන නාසයේ අග කොණේ හෝ උඩුතොල උඩු පැත්තේ හෝ සිහිය පිහිටුවා ගෙන, වාතය පිට වෙනවා - ඇතුල් වෙනවා යයි නොකඩවා සිහි කරන යෝගියා ගේ සමාධිය තරමක් දුරට ශක්තිමත් ව දියුණු වූ කල්හි ම, දික් ව හා කෙටි ව පවත්නා ආශ්වාස - ප්‍රශ්වාස ද දත හැකි වෙයි. සමාධිය ඊට වඩා බලවත් වූ කල්හි නාසිකා වාතය ඉපදීමේ පටන් නිරුද්ධ වන තෙක් එහි මුල, මැද, අග යන සියලු කොටස් ම පැහැදිලි ව දැනගත යුතු ය. මෙසේ දැනගන්නා තෙක් සිහිකරමින් සිටීම සඳහා “සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, පස්සසිස්සාමීති සික්ඛති” ය යි වදාරණ ලදී. මෙහි දී එකී වාතය ප්‍රකට වනු පිණිස තද වෑයමකින් ආවාස - ප්‍රශ්වාස කළ යුතු ය යි වරදවා කල්පනා නොකළ යුතු ය. ආසයෙහි හා ප්‍රශ්වාසයෙහි මුල, මැද, අග මේ මේ ය යි වැටහීමෙන් ම සමාධිය හා ඤාණය බලවත් වෙ යි. අරමුණ ගොරෝසු ආකාරයෙන් වැටහීම වනාහි සමාධි - ඤාණයන්ගේ දියුණු වීමේ ප්‍රතිඵලයක් නොව අරමුණේ ම පවත්නා ස්වභාවයකි. භාවනාවේ ධර්මතා භාවය නම්, සමථ යෝගියා හට හෝ වේවා, විපස්සනා යෝගියා හට හෝ වේවා, සමාධි - ඥාණ දෙක මෝර මෝරා එන විට එකී වාතය ක්‍රමයෙන් සියුම් වීම ය. සමාධිය ඉතා බලවත් වූ කල්හි ඒ වාතය සංසිඳුනාක් මෙන් විය හැකි ය. එහෙත් එකී වාතය සම්පූර්ණයෙන් සංසිඳුනා නොව ඤාණය දුර්වල වූ නිසා නොදත හැකි වූවා පමණකි. අතර කඩ නොකර ඒ සියුම් වාතය අරමුණු කොට සමථ වශයෙන් වැඩුව හොත් පටිභාග නිමිත්ත වැටහීමෙන් උපචාර - අර්පණා සමාධි ද ලැබිය හැකි ය. විදර්ශනා වශයෙන් වැඩුවහොත් උදයබ්බය ආදී විදර්ශනා ඥාන ද ලැබිය හැකි ය.

මෙසේ ඖදාරික ආශ්වාස - ප්‍රශ්වාස නැති ව ගොස් සියුම් ආශ්වාස - ප්‍රශ්වාස අරමුණෙහි සමථ - විදර්ශනාවන් උපදනා තාක් ද, ඒ සමථ - විදර්ශනා බලයෙන් මාර්ග ඥානය උපදින තෙක් ද නොකඩවා භාවනා කළ යුතු බැවින්, “පස්සම්භයං කායසඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සිස්සාමීති සික්ඛති” ය යි වදාරන ලදී. මෙතන්හි ද ආශ්වාස - ප්‍රශ්වාසයන් භාවනාවෙන් ම මිස උත්සාහයෙන් මැඩ පැවැත්විය යුතු ය යි වරදවා කල්පනා නොකළ යුතු ය.

ඉහත කී පරිදි ඇතුල් වන – පිට වන වාතයන් නොකඩ වා සිහිකිරීමෙන් දික් ව හා කෙටි ව පවත්නා වාතයන් ප්‍රකට වශයෙන් දත හැකි ය. ඒ වාතයන්ගේ මුල, මැද, අග යන සියලු අවස්ථාවන් ද කොටස් වශයෙන් පැහැදිලි ව දත හැකි ය. එසේ ම ඖදාරික වාතයන් සංසිඳී යන ආකාරය ද දත හැකි ය.

විදර්ශනා වැඩීම ආනපාන වශයෙන්

පාලි

ඉති අජ්‌ඣත්‌තං වා කායෙ කායානුපස්‌සී විහරති, බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති, අජ්‌ඣත්‌ත බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති.

සමුදය ධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති, වය ධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති, සමුදය වය ධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති.

අත්‌ථි කායොති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති, යාවදෙව ඤාණ මත්‌තාය පටිස්‌සතිමත්‌තාය අනිස්‌සිතො ච විහරති, න ච කිඤ්‌චි ලොකෙ උපාදියති. එවම්‌පි ඛො භික්‌ඛවෙ භික්‌ඛු කායෙ කායානුපස්‌සී විහරති.

කෙටි අදහස

මෙසේ තමා ගේ ආශ්වාස-ප්‍රස්වාස සංඛ්‍යාත රූප කයෙහි ද රූප කය අනු ව බලමින් වාසය කරයි. අනුන්ගේ ආශ්වාස-ප්‍රස්වාස සඞ්ඛ්‍යාත රූප කයෙහි ද, රූප කය අනුව බලමින් වාසය කරයි. තමාගේ හා අනුන්ගේ ආශ්වාස-ප්‍රශ්වාස සඞ්ඛ්‍යාත රූප කය අනුව බලමින් වාසය කර යි.

ආශ්වාස-ප්‍රශ්වාස නමැති රූප කයෙහි උපදවන ප්‍රත්‍යය හා ඉපදීම අනුව බලමින් වාසය කරයි. ආශ්වාසප්‍රශ්වාස නමැති රූප කයෙහි, බිඳීයාමේ ප්‍රත්‍යය හා බිඳීම අනුව බලමින් වාසය කරයි. ආශ්වාස-ප්‍රශ්වාස නමැති රූපයෙහි ඉපදවීමේ ප්‍රත්‍යය හා ඉපදීම ද බිඳී යාමේ ප්‍රත්‍යය හා බිඳීම ද අනුව බලමින් වාසය කර යි.

මෙහි ආශ්වාස-ප්‍රශ්වාස සංඛ්‍යාත රූප කය පමණක් ඇත. පුද්ගලයෙක් සත්වයෙක් නැතැ යි ඒ භාවනානුයෝගියාහට සිහිය එලඹ සිටියා වෙ යි. එය පිළිවෙලින් ඤාණය වැඩි දියුණු වීම පිණිස වෙයි. පිළිවෙළින් සිහිය වැඩි දියුණු වීම පිණිස ද වෙ යි.

වැඩි දියුණු වූ සිහිය හා ඤාණය ඇති ඒ යෝගී තෙමේ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තොර ව ද වාසය කර යි.

එහෙයින් උපදිමින් නැසෙමින් පවත්නා උපාදානස්කන්ධ සංඛ්‍යාත සංස්කාර ලෝකයෙහි කිසිවක් මම ය මාගේ යයි තණ්හා-දිට්ඨි දෙකින් තදින් අල්ලා නො ගනී. මහණෙනි! භාවනානුයෝගී තෙමේ මෙසේ ද රූප කයෙහි රූප කය අනුව බලමින් වාසය කර යි.

මේ දැක්වූයේ ආශ්වාස-ප්‍රශ්වාසයන් මෙනෙහි කරන ආකාරය දක්වන ආනාපාන පබ්බය යි.

එහි විස්තර -

තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසයන් අරමුණ කොට එහි ස්වභාවය දැනගත් කල්හි අනුන්ගේ ආශ්වාස-ප්‍රශ්වාසයන් ද එසේ ම ය යි දැන ගත හැකි ය. මෙසේ දැනගැනීමට “බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති” ය යි වදාරන ලදී. එය අනුන් ආශ්වාස-ප්‍රශ්වාස ද කරන සැටි බලා සිටීමට වදාළේ ය යි නො සැලකිය යුතු ය.

ඇතැම් විටෙක තමාගේ ආශ්වාස-ප්‍රශ්වාසයන් අනුව බලමින් සිටින අතරතුර අනුන් තුළ ද මෙ බඳු ස්වභාවයක් ම ඇති වන්නේ ය යි ක්ෂණයක් පාසා කල්පනාව මෙහෙයවා දැන ගත හැකි ය. එවිට තමන්ගේ හා අනුන්ගේ රූප කය අරමුණු කළ හැකි ය.

හුලං පිඹින මයින හමය, එහි නලය, හුලං ගැසීමට කරන වෑයම ය යන මේ කරුණු තුණ එක් වීමෙන් සුලඟ ඇති වන්නාක් මෙන් බඩ සහිත කය ය, නාස් සිදුරු ය, සිත ය යන මේ කරුණු තුන එක්වීමෙන් ඇතුල් වන වාතය හා පිටවන වාතය පිළිවෙළින් ඇතිවන්ට පටන් ගනී. බඩ ඇතුළු කය ය, නාස් සිදුරු ය, සිත ය යන මේ කරුණු තුන නිසා තමාගේ කයෙහි ආශ්වාස - ප්‍රශ්වාස රූප සමූහය ඇති වෙමින් පවතී. එහෙයින් ඒ කරුණු තුණ “සමුදය ධම්ම”ය යි කියනු ලැබේ. ආශ්වාස - ප්‍රශ්වාසයන් මෙනෙහි කරමින් සිටිය දී ම මේ කරුණු තුණෙන් ආශ්වාස - ප්‍රශ්වාසයන් උපදනා බව වැටහී එන බැවින් යෝගී පුද්ගලයා සමුදය ධම්මානුපස්සී වන බව අටුවායෙහි කීහ. නාසය අග හෝ උඩු තොල ය යන දෙතැන එකී වාතය හැපෙමින් පවත්නා බව දැනගන්නා යෝගී තෙමේ ද සමුදය ධම්මානුපස්සී නම් වෙයි.

තවද මයින සමකුත් නැතහොත් එහි නලය ද නැතහොත් වාතය උපදවන වෑයමකුත් නැතහොත් එහි වාතය නූපදින්නාක් මෙන් බඩ ඇතුළු කරජ කය ය, නාස් සිදුරු ය, සිත ය යන මේ කරුණු තුන නැතහොත් ආශ්වාස - ප්‍රශ්වාස රූප කයකුත් ඇති නො වේ. රූප කය නිරුද්ධ වේ. එහෙයින් බඩ ඇතුළු කරජ කය ය, නාස් සිදුරු ය, සිත ය යන මේ කරුණු තුණ නැතිවුවහොත් ආශ්වාස - ප්‍රශ්වාස උපදවන කරුණු තුණ නැති බව දැනගැනීමෙන් ම වයධම්මානුපස්සී වන බව අටුවායෙහි කීහ. එසේම වාතය නාසය අග හෝ උඩුතොල යන තැනෙක ක්ෂණයෙක් ක්ෂණයෙක්හි, හැපෙමින් නැති ව යන ආකාරය දැනගන්නා යෝගී තෙමේ ද වයධම්මානුපස්සී ය යි කියන ලදී.

මෙතන්හි රූප කලාපයන්ගේ ඉපදීම හා නැසීම අටුවායෙහි දක්වා නැතත් එහි හේතුව දැනගැනීමෙන් ම ඒ ක්ෂණ දෙක එහි ඇතුළත් වන බව දත යුතු ය. කුමක් හෙයින් ද යත්? ආශ්වාස - ප්‍රශ්වාස රූප කලාපයේ ඉපදීමක් නැතිවීමක් නොමැතිව ම හැමදා ම නිත්‍ය ව පවතිත් යයි හැඟී ගියහොත් ඉපදීමේ හේතුව හා නැතිවීමේ හේතුව ද නො වැටහී යාමට ඉඩ ඇති බැවිනි.

තවද ඉරියාපථපබ්බ ආදියෙහි එන “සමුදය ධම්මානුපස්සී වයධම්මානු පස්සී” ය යි ඇතිවීමේ හා නැතිවීමේ හේතු දැක් වූ හැම තැන ම උප්පාද වය සඞ්ඛ්‍යාත ඇතිවීම හා නැතිවීමත් දැක් වූ බව සැලකිය යුතු ය.

දතයුතු විශේෂය නම්, “සමුදය ධම්මානුපස්සී - වයධම්මානුපස්සී” යන මේ ආදී වචනවලින් මේ සුත්‍රයෙහි මේ ආනාපාන පබ්බය ද විදර්ශනාව ප්‍රධාන කොට ගෙන වදාළ බව ප්‍රකාශ වීම ය. කුමක් හෙයින් ද? සමථ භාවනායෙහි දී සංස්කාරයන් පිළිබඳ ඇති වීමේ නැතිවීමේ හේතු හා ඇතිවිම් නැතිවීම් දෙකත් නුවණින් බැලීම අවශ්‍ය නැත. එසේම අනිස්සිතො ච විහරති යනුවෙන් දැක්වෙන පරිදි තන්හා - දිට්ඨි කෙලෙසුන් ඇසුරු නොකොට ඔවුන්ගෙන් දුරු ව විසීම ද අදහස් ද නොකරයි. ‘න ච කිඤ්චි ලොකෙ උපාදියති’ යනුවෙන් දැක්වෙන පරිදි සත්ව ශරීරය ආත්මයක් වශයෙන් නො ගැනීම ද අදහස් නොකරයි. මේ කරුණු සියල්ල විදර්ශනා භාවනාවෙන් ම සිදුවිය යුතු ඒවා ය.

එහෙයින් ආනාපාන පබ්බයෙහි විදර්ශනාව ඇතිවන ආකාරය මෙසේ දතයුතු ය:- ආනාපාන පටිභාග නිමිත්ත අරමුණුකොට පඨමඣාන, දුතියඣාන, තතියඣාන, චතුස්ථඣාන යන ධ්‍යාන සතරින් යම්කිසි ධ්‍යානයක් ලැබුවහු විසින් ඒ ඒ ධ්‍යානයට සමවැදී එයින් නැගිට ඒ ඒ ධ්‍යානය හෝ ඒ ඒ ධ්‍යානයට අරමුණු වූ ආශ්වාස - ප්‍රශ්වාස අරමුණ හෝ මෙනෙහි කොට ඒ අරමුණේ ඇතිවීම, නැතිවීම, පිරිසිදු ව දැනගැනීමෙන් සම්මසන උදයබ්බය ආදී විදර්ශනා ඥාන පරම්පරාව දියුණු කොට අනිස්සිත - අනුපාදාන කෘත්‍යයන් සම්පූර්ණ කිරීමෙන් මාර්ගඥාන ඵල ඥානයන්ගෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළ හැකිය. එහෙයින්:

“සො ඣානා වුට්ඨහිත්වා අස්සාස පස්සාසෙ වා පරිගණ්හාති, ඣානඞ්ගානි වා” යනුවෙන් අටුවායෙහි කීහ.

විදර්ශනායානික පුද්ගලයාහට වනාහි ආශ්වාස ප්‍රශ්වාස වාතය උඩුතොලේ හෝ නාසයේ අග හැපෙන වරක් පාසා සලකා බලමින් එසේ හැපෙන වායෝ ඵොට්ඨබ්බ රූපයාගේ ඇතිවීම හා නැතිවීම ද හැපෙනු දැනගන්නා නාම ධර්මයගේ ඇතිවීම හා නැතිවීම ද ඒ පිළිබඳ ඥානයාගේ ඇතිවීම හා නැති වීම ද පැහැදිලි ව දැනගැනීමෙන් විදර්ශනා ඥාන පරම්පරාව පහළව අනිස්සිත - අනුපාදාන කෘත්‍යය සම්පූර්ණ කොට මාර්ග ඥාන - ඵල ඥානයන්ගෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළ හැකි බව සැලකිය යුතු යි.

ආනාපාන පබ්බය නිමි.

කායානුපස්සනාවේ (2) ඉරියාපථ පබ්බය

පාලි

පුන ච පරං භික්‌ඛවෙ භික්‌ඛු ගච්‌ඡන්‌තො වා ‘ගච්‌ඡාමී’ති පජානාති, ඨිතො වා ‘ඨිතොම්‌හී’ති පජානාති, නිසින්‌නො වා ‘නිසින්‌නොම්‌හී’ති පජානාති, සයානො වා ‘සයානොම්‌හී’ති පජානාති, යථා යථා වා පනස්‌ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාති.

කෙටි අදහස:

මහණෙනි! නැවත ද අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ. මහණනි! යෝගීතෙමේ යන්නේ හෝ යන්නෙමැ යි දැනගනී. සිටගෙන සිටින්නේ හෝ සිටින්නෙමැ යි දැනගනී. වාඩිව ඉඳින්නේ හෝ ඉඳින්නෙමැ යි දැනගනී. හාන්සි වි සයනය කරන්නේ හෝ සයනය කරන්නෙමැ යි දැනගනී.

එහි විස්තරය:

මෙසේ කායානුපස්සනා භාවනාව ආශ්වාස - ප්‍රශ්වාස වශයෙන් බෙදා දක්වා දැන් ඉරියාපථ වශයෙන්බෙදා දක්වනු පිණිස “පුන ච පරං භික්ඛවෙ භික්ඛු ගච්ඡන්තෝ වා” යන ආදීය වදාළ සේක. මෙහි දී කිය යුත්තක් ඇත. “තමා ගමන් කරන විට ඒ බව” බලු, සිවල් ආදී තිරිසන් සත්තු පවා දනිති. මෙහි දක්වා වදාළේ එවැනි දන ගැනීමක් නො වේ. භාවනා නොකරන වුගේ ඒ දැනීමෙන් සත්වයෙක් ඇත යන වැරදි හැඟීම් දුරු නො වේ. ඒ දැනීම ආත්ම සංඥාව පහකිරීමට පොහොසත් නො වන බැවිනි. එහෙයින් එය කමටගනක් නො වේ. සතිපට්ඨාන භාවනාව ද නො වේ.

එහෙත් යමෙක් මේ සතිපට්ඨාන භාවනාවේ යෙදෙයි නම් ඔහුගේ ඉරියව් පැවැත්වීමේ දී ඇතිවන දැනීම සත්වයෙක් ඇත යන වැරදි හැඟීම් දුරු කිරීමෙහි සමර්ථ වෙයි. ඒ දැනීම ම ආත්ම සංඥාව පහ කිරීමට පොහොසත් වෙයි. එහෙයින් එය කර්‍මස්ථානයක් ද වෙයි. සතිපට්ඨාන භාවනාව ද වෙයි.

යන්නේ කවරෙක් දැ? යි නියම යෝගියෙකුගෙන් ඇසුවහොත් යන්නේ සත්වයෙක් නො වේ. පුද්ගලයෙක් නො වේ. ස්ත්‍රියක් නො වේ. පුරුෂයෙක් ද නො වේ ය යි පිළිතුරු දෙනවා ඇත.

යන ගමන කාගේ දැ? යි ඇසුවහොත් එය කිසිත් සත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ නො වේ ය යි කියනවා ඇත.

යාම කුමක් නිසා සිදුවන්නේ දැ? යි ගමනේ හේතුව ඇසුව හොත් චිත්ත කිරිය වායෝ ධාතුව ශරීරයෙහි නහර ඔස්සේ පැතිර යාම නිසා ය යි උත්තර දෙනවා ඇත. එහෙයින් අටුවායෙහි:

“තත්ථ කාමං සොණසිඞ්ගාලාදයොපි ගච්ඡන්තා “ගච්ඡාමා”ති ජානන්ති, න පනෙතං එවරූපං ජානනං සන්ධාය වුත්තං. එවරූපඤ්හි ජානනං සත්තූපලද්ධිං න පජහති, අත්තසඤ්ඤං න උග්ඝාටෙති, කම්මට්ඨානං වා සතිපට්ඨානභාවනා වා න හොති. ඉමස්ස පන භික්ඛුනො ජානනං සත්තූපලද්ධිං පජහති, අත්තසඤ්ඤං උග්ඝාටෙති. කම්මට්ඨානඤ් චෙව සතිපට්ඨානභාවනා ච හොති. ඉදඤ්හි “කො ගච්ඡති? කස්ස ගමනං? කිං කාරණා ගච්ඡතී”ති එවං සම්පජානනං සන්ධාය වුත්තං. ඨානාදීසු පි එසෙව නයො.” යි කීහ.

තේරුම:

“භාවනා මනස්කාරයෙන් තොර වූ සාමාන්‍ය ගිහි පැවිදි අයද ගමන් කරන විට තමන් යන බව දනිත්. එසේ ම බලු සිවල් ආදී තිරිසන් සත්තු ද ඔවුන් ගමන් කරන විට ඒ බව දනිත්. එහෙත් භාවනානුයෝගි තැනැත්තාගේ දැනීම භාවනා නොකරන අයගේ දැනීම හා බලු, සිවල් ආදී තිරිසනුන්ගේ දැනීම මෙන් නොව සතිපට්ඨාන භාවනාවෙන් පහළ වන දැනීම සත්වයෙක් ය යන හැඟීම දුරු කර යි. ආත්ම සංඥාව පහකර යි. එය කමටහන් අරමුණක් ද වෙ යි. සතිපට්ඨාන භාවනාව ද වෙ යි.

මෙය වනාහි කවරෙක් ගමන් කරයි ද? ගමන කාගේ ද? යෑම කුමක් නිසා සිදුවන්නේ ද? යන මේ සම්පජානනය සඳහා කියන ලදී. සිටීම් ඉඳීම් ආදියෙහි ද මේ නය මැ යි’ යනු අටුවා පාඨයේ තේරුම ය.

“යන විට තමන් යන බව දනී.”ය යි කියන ලද යෝගීහුගේ දැනීම වනාහි යෝගී නො වන අයගේ දැනීම හා සම නො වන්නේ ද? සම නො වන්නේ ම ය. මෙහි දී එය පැහැදිලි කොට දක්වනු ලැබේ. විදර්ශනා නො වඩනා ගිහි පැවිදි අය සහ තිරිසනුන් ද යන කල්හි යනු කැමති සිත හා ඉදිරියට තල්ලු වී යමින් උපදින උපදින රූප කොටසුත් වෙන් වෙන් වශයෙන් දැන නොගනිත්. සිත හා රූපය ද වෙන් කොට දැන නොගනිත් යනු කැමති චිත්ත පරම්පරාව නිසා යන ආකාරයෙන් ඇතිවන රූප පරම්පරාවක් පවතින බව ද නො දනිත්. ඒ ඒ නාම කොටස් ඒ ඒ තන්හි ම නැතිවී යන බව ද ඇති සැටියෙන් ප්‍රත්‍යක්‍ෂ ව නොදනිත්.

ඇත්ත වශයෙන් කියතොත් තිරිසනුන් ඇතුළු භාවනා නො කරන හැම දෙනා ම ගමනක් යන විට තමන් යන බව මතක් වන්නේ ඇතැම් විටක ගමනේ මුල මැද අග යන තුන් කොටසින් එකොටසක ඉතා කුඩා ක්‍ෂණ මොහොතක පමණ ය.

බොහෝ සෙයින් තමන් ගමනක් යන බව සිහි නොකරම වෙන යමක් ගැන සිතමින් - කල්පනා කරමින් යන - එන අවස්ථා ඉතා අධිකය. ඇතැම් විටක දී යමින් සිටින බව මතක් වුව ද නිතර ම මම යැයි තමා තදින් ගත් ආත්ම දෘෂ්ටිය අනුව ම සිතා මතා ගන්නේ ය. ගමන පටන් ගන්ට මත්තෙන් පැවති සිත හා රූපය ම ගමන් කෙරේ යැ යි වටහා ගනී. නැතහොත් ගමන යද්දී සිත හා රූපය ම වෙන තැනකට පැමිණෙන්නේ යැයි වටහා ගනී යන්ට මත්තෙන් ද යමින් සිටියදී ද ගියාට පසු ද සිටියේත්, සිටින්නේ ත් එක පුද්ගලයෙක් ම යැ යි වටහාගනී. හෙවත් වරදවා දැන ගනී. මේ වැරදි වටහා ගැනීම හෝ දැන ගැනීම විදර්ශනා නොවැඩු පුද්ගලයා පිළිබඳ වූවකි. වරදවා දැන ගැනීමෙන් සත්වයෙක් ය යන හැඟීම දුරු නො කළ හැකිය. ආත්මයක් ඇත යන සඥාව නො පහ කළ හැකි ය. ඒ වැරදී දැනීම අරමුණු කරමින් ඔහුගේ සිතෙහි විදර්ශනාව නුපදින බැවින් එය කර්මස්ථානයක් ද නො වේ. නොහොත් එසේ නො මඟින් දැන ගන්නා දැනීම අනුව ගොස් මතුමත්තෙහි විදර්ශනා ඥානය නූපදින බැවින් එය කර්මස්ථාන යකුත් නොවිය හැකි ය. සිහිනුවණින් මෙනෙහි කිරීම යයි කියන ලද සතිපට්ඨානය හා එක්ව පැවති දැනීමක් නො වන බැවින් සතිපට්ඨාන භාවනාව ද. නො වේ ම ය.

එහෙයින් “යන කල්හි යන්නෙමැ යි දැන ගනී” ය යි වදාළ බුද්ධ වචනය විදර්ශනා නො වඩන සාමාන්‍ය අය ගේ දැනීම සඳහා නො වදාළ බව දත යුතු ය.

යෑමක් පාසා පිළිවෙළ නොකඩවා ක්‍රමානුකූල වැ භාවනා මෙනෙහි කරණ යෝගී පුද්ගලයා වනාහි. යනු කැමැති සිතද රූපය හා මිශ්‍ර නො කොට වෙන් වශයෙන් දැනගනී. ඉදිරියට තල්ලු වී යන රූපය ද සිත හා මිශ්‍ර නො කොට වෙන් වශයෙන් දැන ගනී. ගමන යන්න ඕනෑ - යන්ට ඕනෑ, යන හැඟීම් සහිත චිත්ත පරම්පරාව නිසා ඉදිරියට තල්ලු වී යන රූප පරම්පරාවක් ඇති වන බව ද පැහැදිලි ව ප්‍රත්‍යක්ෂ ව දැනගන්නේ ය. යනු කැමති සිත් රැසක් හා - යන ආකාරයෙන් ඇතිවන රූප රැසකුත් උපදින බව - ඇති වන බව පිරිසිදුව දැන ග න්නේ ය. සිත රූපයක් නො වන බව හා රූපය ද සිතක් නො වන බව දැනගන්නේ ය. රූපයෙන් ද ඉතා කුඩා කොටසක් වත් ඊළඟ කොටසට නො පැමිණ, ඒ ඒ තැන දී ම ඒ නැති වී යන බව දැන ගන්නේ ය.

එක පාදෝධරණය (පා එසවීම) ක් ද අටුවායෙහි එබ පරිදි උද්ධරණ - අතිහරණ - වීතිහරන - වොස්සජන - සනිනික්ඛෙපන - සන්නිරුම්භන ය යි කොටස් හයකට බෙදා හෝ, ඊට වැඩි කොටස් ගණනකට බෙදා හෝ එක් එක් කොටස අනෙක් අනික් කොටස් හා මිශ්‍ර නොවී වෙන් වෙන් ව ඇති ව නැති වී යන බව ද, භාවනා මනස්කාරයට ප්‍රකට ව වැටහි එන්නේ ය.

එහි උද්ධරණ යනු බිම තැබු පාදය එසවීම ය. අතිහරණ යනු එස වූ පය තිබුනු තැන ඉක්මවා ඉදිරියට ගෙන යෑම ය. වීතිහරණ යනු ඒ පය කණු කටු ආදියක හෝ පිහිටි පයේ නො ගටා පසෙකින් ඉදිරියට යැවීම ය. වොසජ්ජන යනු පය බිමට පාත් කිරීම ය. සන්නිඛෙපන යනු පය බිම තැබිම ය. සන්නිරුම්භන යනු පය බිම තබා තද කිරීම ය.

එහෙයින් යෝගී පුද්ගලයාගේ දැනීම (කො ගච්ඡාති:) කවරෙක් යයි ද? යන්නා වූ ආත්මයෙක් හෝ ‘මම’ යයි කියා ගතයුතු පුද්ගලයෙක් සිටිනවා ද? (කස්ස ගමනං:) ගමන කාගේ ද? ගමනේ අයිති කරුවෙක් හෝ ‘මම’ යැයි කියා ගතයුතු ආත්මයක් තිබෙනවා ද? (කිං කාරණා ගච්ඡති:) මොන කරුණකින් යයි ද? යෑම් ක්‍රියාව සිදුවන්නේ කිනම් කරුණක් නිසා ද මෙකී ප්‍රශ්න තුන අනුව විමසා බැලීමේ දී සත්ව සංඥාව දුරු වී ගොස් සම්පූර්ණ දැන ගැනීමක් ඇති වන ඥාණය සම්පජානනය යි කියනු ලැබේ. එනම්, අපමොහ සම්පජඤ්ඤ ය යි. මේ ඤාණය ම පිළිවෙලින් වඩන විදර්ශනාවට මූලික වන බැවින් පටිවිපස්සනා ය යි කියන ලද අරමුණ වූ බැවින් “භාවනා කම්මස්ස ඨානං” යන වචනාර්ථය අනුව ද කම්මට්ඨාන නම් වේ. පසු පසු ව උපදනා විදර්ශනා ඥාන පරම්පරාව දියුණු තියුණු කරන බැවින් “භාවනාකමමේව උත්තරුත්තරි භාවනාය ඨානං” යන මේ වචනාර්ථය අනුව ද කර්මස්ථාන ය යි කියනු ලැබේ. උතුම් ස්ථිර සිහි කිරීම වූ සතිපට්ඨානය හා එක් ව පවත්නා පිරිසිදු දැන ගැනීමක් වන බැවින් සතිපට්ඨාන භාවනා නමුදු වේ.

මේ ප්‍රශ්න තුන අනු ව හරිහැටි දැන ගන්නා ආකාරය නම් ශරීරයෙහි උපදනා තාක් කාය චිත්ත කිරියා සියල්ල අතර කඩ නො කොට මෙනෙහි කරන යෝගීහුගේ සමාධිය හා ඥාණය මේරූ කල්හි යෑමක් පාසා, සිරුරේ චලනයක් පාසා ඒ ගැන සිහිය එලවා බැලීමෙන්, යනු කැමති සිත හා යන අයුරින් සිරුර ඉදිරියට තල්ලු කරන වායෝ ධාතු රූප සමූහය ම පිළිවෙළින් ඉපිද නිරුද්ධ වන බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගත හැකි ය. එහෙයින් යන කෙනෙක් නැති බවත් යනු කැමති සිත නිසා හටගන්නා රූප සමූහයක් ඇති බවත් පිරිසිදු ව වැටහෙන්නේ ය. මෙය වනාහි “කො ගච්ඡති” යන මේ ප්‍රථම ප්‍රශ්නය අනුව උපදින වැටහීම යි.

තව ද යෝගී පුද්ගලයා විසින් ඒ ගමන ක්‍රියාවෙහි විධි විධානය කරන අධිපතියෙක් හෝ අයිතිකරුවෙක් නැතැ යි ද, යනු කැමති චිත්ත පරම්පරාව නිසා යන ආකාරයෙන් ඉදිරියට තල්ලු වී යන වායෝ රූප සමූහය ම නිතර ඇති ව පවතින බව ද දැක්ක හැකි ය. එහෙයින් යෑම අසවලාගේ ක්‍රියාවක් ය යි නො කිව හැකි ය. ගමනේ අයිතිය අසුවලාගේ ය යි හෝ මගේ ය යි හෝ සත්වයෙකුගේ ය යි හෝ නො කිව හැකි ය.

මෙසේ ගමන් අයිතිකරුවෙක් නැති බව ඇති සැටියෙන් දැන ගැනීම “කස්ස ගමනං” යන දෙවැනි ……. අනුව දැන ගැනීම යි.

තව ද යෑමට පෙර යන්ට ඕනෑ ය යි චිත්ත පරම්පරාවක් උපදින බව යෝගියා විසින් දැනගත හැකි ය. ඒ චිත්ත බලයෙන් යන ආකාරය ඉදිරියට තල්ලු කරන වායෝ රූප සමූහයක් ද පිළිවෙළින් පහළ වන බව දැන ගත හැකි ය. එහෙයින් මම යමි. ඔහු යයි යන මේ කථාව ව්‍යවහාර මාත්‍රයක් ම ය. ඇත්ත වශයෙන් කියතොත් යනු කැමති සිත නිසා යන ආකාරයෙන් හටගෙන පිළිවෙළින් ඉදිරියට ඇදී යන රූප රැසක් ම පවතින්නේ ය යි පැහැදිලි ව දැනගත හැකි ය. මෙසේ දැනගැනීම “කිං කාරණා ගච්ඡති” යන තුන් වැනි ප්‍රශ්නයේ පිළිතුර දැන ගැනීම ය. මේ පිළිබඳ අටුවා පාඨය මෙසේ ය :-

“තත්ථ කො ගච්ඡතීති න කොචි සත්තො වා පුග්ගලො වා ගච්ඡති, කස්ස ගමනන්ති න කස්සචි, සත්තස්ස වා පුග්ගලස්ස වා ගමනං. කිං කාරණා ගච්ඡතීති චිත්තකිරියවායොධාතු විප්ඵාරෙන ගච්ඡති. තස්මා එස එවං පජානාති. ගච්ඡාමීති චිත්තං උප්පජ්ජති තං වායං ජනෙති වායො විඤ්ඤත්තිං ජනෙති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන සකල කායස්ස පුරතො අභිනීහාරො ගමනන්ති වුච්චති. ඨානාදීසු පි එසෙව නයො, තත්‍රාපි හි තිට්ඨාමීති …… චිත්තං උප්පජ්ජති, තං වායං ජනෙති, වායො විඤ්ඤත්තිං ජනෙති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන සකල කායස්ස කොටිතො පට්ඨාය උස්සිතභාවො ඨානන්ති වුච්චති, “නිසීදාමී”ති චිත්තං උප්පජ්ජති, තං වායං ජනෙති, වායො විඤ්ඤත්තිං ජනෙති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන හෙට්ඨිමකායස්ස සමිඤ්ජනං

උපරිමකායස්ස උස්සිතභාවො නිසජ්ජාති වුච්චති. “සයාමී”ති චිත්තං උප්පජ්ජති, තං වායං ජනෙති, වායො විඤ්ඤත්තිං ජනෙති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන සකලසරීරස්ස තිරියතො පසාරණං සයනන්ති වුච්චති.”

එහි අදහස:

යථොක්ත ප්‍රශ්න තුණ අතුරෙන් වරෙක් යයි ද? යන මේ ප්‍රශ්නයෙහි කිසි සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නො ය යි කියා ද, ගමන කවරෙකුගේ ද? යන මේ ප්‍රශ්නයෙහි ගමන කිසි සත්ත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ නො වේ ය යි ද කිනම් කරුණක් නිසා ය යි ද? යන මේ ප්‍රශ්නයෙහි චිත්ත කිරිය වායෝ ධාතුව ශරීරයෙහි පැතිරයෑම නිසා ය යි ද මේ යෝගී පුද්ගලයා මෙසේ දැනගනී. පළමු කොට යන්ට ඕනෑ ය යි සිතක් උපදී. ඒ සිත කය ඔසවන - සොලවන වායෝ ධාතුව උපදව යි. ඒ වායෝ ධාතුව කය ඉදිරියට පමුණුවන ශක්තිය වූ කාය විඤ්ඤත්තිය උපදව යි. (යන විට) යන බව සිහිය ඇති ව මෙනෙහි කරන යෝගියාහට පය ආදී ශරීරාගයන්ගේ එසවීම ප්‍රකට වෙ යි. මේ එසවීම් ක්‍රියාව වායෝ ධාතුවේ විත්ථම්භන ලක්ෂණ ය යි. සෙලවෙන ගතිය ද ප්‍රකට වෙයි. මේ සෙලවීම් ක්‍රියාව වායෝ ධාතුවේ සමුදීරණ නමැති කෘත්‍ය රස ය යි. යනු කැමැති දෙසට තල්ලු වී යන - ඉදිරියට පමුණු වන ආකාරය ප්‍රකට වෙයි. මෙසේ ඉදිරියට තල්ලු කරන - ඉදිරියට පමුණුවන ආකාරය වායෝ ධාතුවේ අභිනීහාර පච්චුපට්ඨාන ය යි කියන ලද ඤාණයට වැටහෙන ආකාරය යි. එහෙයින් වායෝධාතුව ශරීරය නැගිටුවා - සොලවන ක්‍රියා මාත්‍රයක් ය යි කියන ලදී. වායෝ ධාතුව විඤ්ඤත්තිය උපදවන්නේ ය යි කී තන්හි තල්ලු කිරීමේ ශක්ති විශේෂය හා සමග වායෝ රූප පහළ වී ඊට දක්වනු කැමැත්ත වෙ යි. ඇත්ත වශයෙන් වනාහි වායුව හා පවතින විඤ්ඤත්ති රූප සිතෙන් හටගත් චිත්තජ රූපයක් ම ය. වායුවෙන් හටගත් වායුජ රූපයක් නම් නො වේ, චිත්තකිරිය වායෝ ධාතුව ශරීරයෙහි පැතිරී යෑමෙන් හෙවත් සිතෙන් හටගත් - කය එසවීම් - සෙලවීම් ක්‍රියාව පැතිර යෑමෙන් මුලු ශරීරය ඉදිරියට පැමිණ වීම ගමන ය යි කියනු ලැබේ. සිටීම් ආදියෙහි ද මේ නය ක්‍රමය ම දත යුතු යි. එහි විස්තරය මෙසේ; ඒ සිටීම් ආදියෙහි සිටිමි, ඉඳගනිමි, සයනය කරමි යයි කියා සිතක් පළමුකොට උපදී. එසේ සිතන්නාවූ ඒ සිත කය නැගිටුවන සොලවන වායුව උපදව යි. ඒ වායුව කය පුබුදුවන - ශක්ති විශේෂය වූ විඤ්ඤත්තිය උපදව යි. චිත්ත කිරිය වායෝ ධාතුව පැතිර යෑමෙන් සකල ශරීරයෙහි යට කෙළවරෙහි පටන් ශරීරය ඔසවා කෙලින් කර තැබීම, සිටීම ය යි කියනු ලැබේ. සිතින් හටගත් වායෝ ධාතුව පැතිර යෑම නිසා යට කය හකුලුවා උඩු කය කෙලින් කර තබා ගැනීම ඉඳ ගැනීම ය යි කියනු ලැබේ. එසේම සිතින් හටගත් වායෝ ධාතුව කයෙහි පැතිර යෑමෙන් සකල ශරීරය හරහට දිග හැර ගැනීම, හොවීම ය යි කියනු ලැබේ.

යථොක්ත අටුවා පාඨයේ එන පරිදි යෝගී පුද්ගලයා විසින් නුවණින් දැන ගන්නා විට මුලු ශරීරය ඉදිරියට ගෙන යෑම ය, මුල ශරීරය කෙළින් කර තබා ගැනීම ය, ශරීරයෙහි යට කොටස නමාගෙන උඩ කොටස කෙලින් කර තබා ගැනීම ය, මුලු ශරීරය හරහට දිග හැර ගැනීමය, යන මේ ඉරියව් සතර විශේෂයෙන් නුවණින් යුක්තව සිහි කළ යුතු ය. ඒ හැර ඇසිපිය හෙළීමක් ඇතුළත කෝටි ලක්ෂ වාරයකටත් වඩා සියුම් රූප කැබලි ඇති වී නැති වී යන ආකාරය මෙනෙහි කරන අයුරු මෙහි ඇතුළත් වී නැත. එහෙත් මෙතන්හි වායෝ ධාතුව ම මෙනෙහි කරමින් ආත්මයක් නැති බව මෙනෙහි කරන ආකාරය ප්‍රකට කරන ලදී.

තවද, “තස්ස එවං පජානතො එවං හොති - පෙ - “ගච්ඡාමි තිට්ඨාමී”ති චිත්තෙ උප්පන්නෙ වායොධාතු විඤ්ඤත්තිං ජනයමානා උප්පජ්ජති, චිත්තකිරිය වායොධාතුවිප්ඵාරෙන ගමනාදීනි පවත්තන්ති” “තතො සත්තො ගච්ඡති, සත්තො තිට්ඨති, අහං ගච්ඡාමි, අහං තිට්ඨාමීති වොහාර මත්තං හොති” ………………

මෙසේ කියන ලද පරිදි යෑම් ඊම් ආදිය කරනු කැමති සිතින් හටගන්නා වූ රූප කය පුබුදු කරවන - සොලවන කාය විඤ්ඤත්තියගේ වශයෙන් යෑම් ඊම් ආදිය ඇති වන්නේ ය යි දැනගත් කල්හි ඒ රෝගියා හට මෙසේ වූ වැටහීමක් - හැඟීමක් ඇති වෙයි.කෙසේ ද යත්? “ සත්වයා ගමන් කරයි, සත්වයා සිටී “ ය යි ලෝකයා විසින් ව්‍යවහාර කරනු ලැබේ. එහෙත් ඇත්ත වශයෙන් “යන්නා වූ හෝ සිටින්නා වූ හෝ කිසිත් සත්ත්වයෙක් නැත” යන හැඟීම ය. එය උපමාවක් වශයෙන් කියතොත් “රථය (කරත්තය) ගමන් කරයි. රථය නැවතී සිටි” ය යි කී නමුත් ගමන් කරන්නා වූ හෝ නැවතී සිටින්නා වූ හෝ යම්කිසි රථයක් නැත. එසේ වුවත් ගොනුන් සතර දෙනෙකු යොදා (මෙහි ගොනුන් සතර දෙනෙකු උපමා වශයෙන් දැක්වූයේ ඉරියවු සතර පිළිබඳ වායොධාතු සතර සඳහා ය.) දක්‍ෂ වූ රියැදුරා විසින් රථය පදවන කල්හි “රථය ගමන් කරයි. රථය නැවතී සිටි” යයි ව්‍යවහාර මාත්‍රයක් ම පවතී. එසේ ම යනු කැමති – සිටිනු කැමති - ඉඳගනු කැමති – හෙවිනු කැමති සිතින් හටගත් වායෝධාතු සතර ගොණුන් සතර දෙනා මෙනි. යනු කැමති - සිටිනු කැමති වූ ශක්ති විශේෂය වූ විඤ්ඤත්තිය පහළ කරවයි. සිතින් හටගත් වායෝ ධාතුව ශරීරයෙහි පැතිර යෑමෙන් යෑම් ඊම් ආදී ක්‍රියා පහළ වෙත්. මෙසේ නොකඩවා වායෝ ධාතුව ඇතිවන බැවින් “සත්වයා ගමන් කරයි, සත්වයා සිටී, මම ගමන් කරමි, මම සිටිමි”යන ආදී වශයෙන් ව්‍යවහාර මාත්‍රයක් ඇති වෙයි. එහෙයින්:-

“නාවා මාලුත වෙගෙන - ජියාවෙගෙන තෙජනං
යථා යාති තථා කායො - යාති වාතාහතො අයං”

“රුවල් නැව හෝ ඔරුව වාත වේගයෙන් ගමන් කරන්නාක් මෙන් ද, දුනුදියේ (වැද්දාගේ දුනු ලනුවේ) වේගයෙන් ඊතලය ගමන් කරන්නාක් මෙන් ද මේ රූපකය චිත්තජ (සිතින් හටගත්) වාත වේගයාගේ ඝට්ටනයෙන් ගමන් කරන්නේ ය.” මේ ගාථාවෙන් ප්‍රත්‍යය බලයෙන් හටගත් වායෝ ධාතුවෙන් රූපකය ගමන් කරන අයුරු දක්ව යි.

“යන්තං සුත්තවසෙනෙව - චිත්තසුත්තවසෙනිදං
පයුත්තං කාය යන්තම්පි - යාති ඨාති නිසීදති.”

යන්ත්‍රය නොහොත් ඇන්ජිම එහි රෝද නූලේ හෝ පටියේ ආධාරයෙන් ඉක්මනින් ගමන් කරන්නාක් මෙන් මේ රූපකය නමැති යන්ත්‍රය ද චිත්ත නමැති නූලේ පටියේ ආධාරයෙන් ගමන් කරයි, සිටියි, බඳගනී, ශයනය කරයි” යන මේ ගාථාවෙන් හේතු සංඛ්‍යාත මූලික කරුණ වූ සිතින් රූප කය පිළිබඳ ගමන් කිරීම් ආදිය සිදුවන ආකාරය දක්වයි.

“කො නාම එත්ථ සො සත්තො

යො විනා හෙතුපච්චයෙ,

අත්තනො ආනුභාවෙන

තිට්ඨෙ වා යදි වා වජෙ”

යම් සත්ත්වයෙක් තෙම චිත්ත සංඛ්‍යාත මූල හේතුව වූ කය නැගිටුවන - සොලවන ප්‍රත්‍යය ශක්තියෙන් තොරව තමාගේ ආනුභාවයෙන් සිටින්නේ හෝ වෙයි ද? මේ ලෝකයෙහි එවැනි කිනම් සත්ත්වයෙක් කො තැනක හෝ ජීවත් ව සිටී ද? සත්ත්වයෙක් විද්‍යාමාන නොවේ මැ යි. (මෙහි කො නාම යන්නෙහි කිං ශබ්දය ප්‍රතික්‍ෂේපාර්ථවාචී වෙයි.)

“එවං හෙතුපච්චය වසනෙව පවත්තානි ගමනාදීනි -පෙ - වෙදිතබබා” යි කී හෙයින් ගමන් ආදියෙහි දී යන්නෙමැ යි යන ආදී වශයෙන් මෙනෙහි කරමින් දැනගත්තා වු යෝගී තෙමේ යනු කැමති සිත හා ඒ සිහින් හටගත් පය එසවීම් - සෙලවිම් රුප ක්‍රියා මාත්‍රය නුවණින් දැක ගමන් කරන - සිටින - ඉඳින - හොවින සත්ත්වයෙක් - පුද්ගලයෙක් ය යි කියා කෙනෙක් නැත, යනු කැමති සිත හා ඒ සිතින් හටගත් රූපකය නැගිටුවීම් - සෙලවීම් ක්‍රියා මාත්‍රයක් ම ඇත්තේ ය. මේ සිත හා රූපයාගේ වශයෙන් යෑම් ආදිය නො කඩවා පවත්නේ ය යි වැටහුණු කල්හි මෙසේ කියන ලද පරිදි චිත්ත නමැති මූල හේතුවෙන් නැගිටුවීම් - සෙලවීම් ක්‍රියා ය යි කියන ලද උපස්තම්භන හේතූන්ගේ වශයෙන් ම, නොකඩවා පවත්නා ගමන් කිරීම් ආදිය සලකන - මෙනෙහි කරන මේ යෝගී පුද්ගලයා “ගච්ඡන්තො වා - පෙ - සයානොම්හීති පජානාති”ය යි වදාළ පරිදි යන කල්හි යන්නෙමැ යි ද, සිටින කල්හි සිටින්නෙමැ යි ද, වාඩි වී ඉඳින කල්හි ඉදිනෙමැ යි ද, හොවින කල්හි හොවිනෙමැයි ද දැනගන්නේ ය.

ඉහත කී “හෙතුපච්චයවසෙනෙව පවත්තානි ගමනාදීනි” යන වාක්‍යයෙන් යෑම් ආදිය සිදු කරනු කැමති සිත හා යෑම් ආදී වශයෙන් නො කඩවා පවත්නා රූපයෙහි ම යෑම - සිටීම - ඉඳීම - හොවීම ඇති බව සැලකිය යුතු ය. “ගමනාදීනි සල්ලක්ඛෙන්තො එස” යනුවෙන් ගමන ක්‍රියා ආදිය ම සත්ව සංඥාවෙන් තොර ව සලකා බැලිය යුතු ය යි ද, එසේ සලකා බලන යෝගී තෙමේ ම යන කල්හි යන්නෙමැ යි කියාද, සිටින කල්හි සිටින්නෙ මැයි කියා ද, හිඳින කල්හි ඉඳිනෙමැ යි කියා ද, හෝනා කල්හි හොවිනෙමැයි කියා ද, භාවනා ඥානයෙන් හොඳින් දැනගෙන සලකා බලන්නෙක් වෙයි.

මෙහි දී ඉහත දැක් වූ අටුවා කියුම් හැම එකකින්ම “ගච්ඡන්තො වා ගච්ඡාමීති පජානාති” යන ආදී ශ්‍රීමුඛ පාඨයෙහි එන, “පජානාති” යනෙහි නියම අර්ථය වු අනිත්‍යදී ප්‍රකාරයෙන් දැන ගන්නා සම්ප්‍රජානන සංඛ්‍යාතවූ අසම්මොහසම්පජඤ්ඤ ඤාණය උපදනා ආකාරය විස්තර කොට දක්වන ලදී. තවද ඉහත කී ප්‍රශ්න තුන සම්පූර්ණ යෙන් විසඳා ගත හැකි වුවහොත් පජානාති යන්නෙන් කියැවෙන ප්‍රකාරයෙන් දැනගන්නා - අසම්මොහ සම්පජඤ්ඤය ඇති වී ය යි නිසැක ව සනිටුහන් කොට සැලකිය යුතු ය. මේ අසමොහසම්පජඤ්ඤය ද යෑමක් පාසා නොකඩවා මෙනෙහි කිරීම ය යි කියන ලද ගෝචරසම්පජඤ්ඤය ඇති වූ කල්හි ම ඉපදවිය හැකි ය. ගෝචර සම්පජඤ්ඤය සම්පුර්ණ නොවුවහොත් අසම්මොහසම්පජඤ්ඤය නො ඉපදවිය හැකි ය.

එහෙයින් යෝගී පුද්ගලයා විසින් අසම්මොහසම්පජඤ්ඤය උපදවා ගනු පිණිස, සෑම් ආදී සෑම ඉරියව්වක් පාසා ම, මෙනෙහි කිරීම් වශයෙන් පළමු කොට ගෝචරසම්පජඤ්ඤය ම නොකඩවා වැඩිය යුතු ය යි හඟවනු පිණිස, “ගත්තො වා ගමීති පජානාති” යන මේ ආදී භාවනා ක්‍රමය වදාළ බව සැක රහිත ව සැලකිය යුතු ය. මෙසේ ශ්‍රී මුඛ පාලියෙහි ගෝචරසම්පජඤ්ඤය මෙනෙහි කරන ආකාරය සෘජුව ම මතු කර දක්වන ලදී. අටුවායෙහි කී පරිදි ඒ නය ක්‍රමයෙන් මෙනෙහි කරන යෝගී පුද්ගලයා කෙරෙහි ම, සමාධිය හා ඤාණ ය මේරු කල්හි, අසම්මොහසම්පජඤ්ඤය උපදනා ආකාරය මතුකොට දක්වා ඒ පාලි නය ම න සාධක කරන ලදී.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය සන්දිට්ඨික ගුණයෙන් සමන්විත වෙයි. යෝගාවචරයා හරිහැටියට ක්‍රමානුකූල ව භාවනායෙහි වෑයම් කළහොත් එහි ප්‍රතිඵලය තමා විසින් ම දත හැකි ය. තමා විසින් ම දත හැකි වූ මෙවැනි සන්දිට්ඨික ප්‍රතිඵල සහිත ධර්මයකින් භාවනාමය ඤාණයෙන් තොරව ප්‍රතිඵල නො ලැබිය හැකිය. එසේ නොමැතිව සුතමය - චින්තාමය ඤාණ මාත්‍රයෙන් සිතා මතා සැක උපදවා භාවනාවෙහි වෑයම් නො කර සිටීමෙන් කවර ප්‍රයෝජනයක් හෝ ප්‍රතිඵලයක් ලැබිය හැකි ද? යට දැක් වූ පරිදි නියම ගුරූපදේශයක් ඇතිව වෑයම් කළහොත් තමාට ම දත හැකි ය. ඒකාන්තයෙන් භාවනාවේ ප්‍රතිඵල ලබාගත හැකි ය.

පාලි

“යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාති”

එහි කෙටි අදහස:

“ඒ යෝගී පුද්ගලයාගේ රූප කය වනාහි යම් යම් කුදුමහත් ඉරියවුවකින් පිහිටුවයි නම් - පවතී නම් ඒ රූප කය ඒ ඒ පවත්නා ආකාරය අනුව නුවණින් සලකා දැනගනී.” යනු යි.

මේ කොටස ඉරියාපථ භාවනාවේ සර්වසංග්‍රාහික (සියලු කුදු මහත් ඉරියවු සංග්‍රහවන) කොටස ය යි අටුවා කථාවෙහි කීහ. එහෙයින් රූප සමූහය වූ කය කොයි ආකාරයෙන් හෝ පවතින්නේ නම් ඒ පවත්නා ආකාරයෙන් ම ඒ රූප කය අරමුණු කොට මෙනෙහි කළ යුතු ය. එය ස්වරූප වශයෙන් උදුරා කිවහොත්, රූප කය ගමන් කරන ආකාරයෙන් පවතී නම්, “රූප කය ගමන් කරනවා-ගමන් කරනවා” කියා ම සැලකිය යුතු ය. මෙනෙහි කළ යුතු ය. සිටීම - ඉඳීම - හොවීම යන මේ ආකාරයන් අතුරෙන් යම්කිසි ආකාරයකින් පවතින්නේ නම් “රූප කය සිටිනවා. සිටිනවා” කියා ද “රූප කය ඉඳිනවා - ඉඳිනවා” කියා ද “රූප කය හොවිනවා - හොවිනවා” කියා ද සිහිකළ යුතු ය. මෙනෙහි කළ යුතු ය.

තව ද කය නැමෙන කල්හි “නැමෙනවා - නැමෙනවා” ය යි ද හැරෙන කල්හි “හැරෙනවා - හැරෙනවා”

ය යි ද කය සෛලවෙන කල්හි “සෙලවෙනවා - සෙලවෙනවා”ය යි ද උදරය පිම්බෙන-හැකිලෙන කල්හි “පිම්බෙනවා - හැකිලෙනවා”ය යි ද සිහියෙන් යුක්ත ව මෙනෙහි කළ යුතු ය. ඇසිපිය හෙලීම් දිව හා දෙතොල් උස් - පහත් කිරීම් ආදී කුදු-මහත් හැම අවස්ථාවක් ම මෙනෙහි කරමින් ම පැවැත්විය යුතු ය. එය එසේ මැ යි. ප්‍රකට වශයෙන් දැනේ නම් මෙකී කුඩා කායික ක්‍රියා සමූහය ද සිහිය එලවා මෙනෙහි නො කොට අත හැරියහොත් අනිත්‍ය ය, දුක් ය, අනාත්ම ය යි කියා නොවැටහී යෑමෙන් ඒ හැම එකක් ම නිත්‍ය ය, සැප ය, ආත්ම ය යි කියා වරදවා වටහා ගන්නේ ය. ඒ නිසා ම කෙලෙස් පහළ විය හැකි ය. විදර්ශනා යනු කෙලෙස් ඇතිවිය හැකි හැම ක්‍රියාවක් ම හැම අවස්ථාවක් ම මෙනෙහි කරමින් කෙලෙසුන්ගේ අනුසය භූමිය විධ්වංසනය කොට (වනසා දමා) ප්‍රඥා භූමිය පහළවන පරිදි වෑයම් කරන භාවනාවකි. එහෙයින් මෙය වනාහි ඉරියවු සතර සමග මේ කුඩා කායික ක්‍රියා සියල්ල අත් නො හැර මෙනෙහි කිරීම පිණිස දැක් වූ සර්වසංග්‍රාහික කථාවක් බව සැලකිය යුතු යි.

නොහොත් යෙවාපන - යාවාපන - සංවාපන යන ආදී වශයෙන් වදාළ අනික් ශ්‍රීමුඛ පාඨයන් හි වනාහි ‘වාපන’ යන්න හා දක්වන ලද මෙවැනි පාඨයගෙන් ඉහත නො දක්වන ලද - නො කියන ලද ඉතිරි වූ අර්ථ අදහස් ම ගනු ලැබේ. එහෙයින් “යථා යථා වා පන” යන ආදී පාඨයෙහි ‘වාපන’ යන්න ඇතුළත් කොට කියන ලද යථොක්ත පාඨයෙහි අර්ථ අදහස් වශයෙන් යට දැක් වූ සතර ඉරියවුවෙන් ඉතිරි වූ කුඩා කායික ආකාරයන් ම ගත යුතු ය යි කියන ලදී.

විශේෂයෙන් සැලකිය යුත්තක් නම්, කුඩා ආකාරයන් අතුරෙන් උදරයේ පිම්බීම හා හැකිලීම ආශ්වාස - ප්‍රශ්වාසයන් හා සම්බන්ධව හටගන්නා බැවින් වායෝ ධාතු සය අතුරෙහි ආශ්වාස-ප්‍රශ්වාස දෙක වායෝ ධාතුවෙහි ඇතුළත් ය යි සැළකිය යුතු ය. කුමක් මෙන් ද යත්? ආශ්වාස - ප්‍රස්වාස දෙක උදරය ඇතුළු කය හා සම්බන්ධ බැවින් කාය පටිබද්ධ ව කාය සංඛාරයක් වන්නාක් මෙනි.

පාලි

“ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති අජ්ඣත්ත බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති”

කෙටි අදහස:

මෙසේ තමාගේ රූප කයෙහි ද රූප කය අනුව බලමින් වාසය කර යි. බාහිර වූ අනුන්ගේ රූප කයෙහි ද රූප කය අනුව බලමින් වාසය කර යි. ඇතැම් විටක තමාගේ රූප කයෙහි ද, ඇතැම් විටක අනුන්ගේ රූප කයෙහි ද රූප කය අනුව බලමින් වාසය කර යි.

එහි විස්තරය:

මේ කොටස අනුන් යන සැටි බලමින් හෝ කල්පනා කරමින් හෝ මෙනෙහි කිරීමට දක්වන ලද්දක් ය යි නො සැලකිය යුතු ය. ඇත්ත වශයෙන් වනාහි තමාගේ ගමන් කිරීම් ආදිය භාවනා වශයෙන් මෙනෙහි කිරීමේ දී යනු කැමති සිත නිසා රූප කය කෙලින් සිටීම, චලනය වීම, ඉදිරීයට තල්ලු වී යෑම ය යන මේ රූප සමුහයක් ම පිළිවෙළින් නො කඩවා ඇතිව නැතිවන බව වැටහීමෙන් යන්නා වූ “මම” ය යි ගත යුතු ආත්මයෙක් නැත. යනු කැමති සිත නිසා ද යන්නා වූ රූප සමූහය පිළිවෙළින් ඇතිවීම ම “මම යමි” යන ආදී වශයෙන් ව්‍යවහාර කරනු ලැබේ ය යි තමාගේ ඥානයට හොඳින් වැටහී ගිය කල්හි අනුන්ගේ යෑම්, සිටීම් ආදී වශයෙන් කරනු ලබන ව්‍යවහාරය ද එසේ ම ය යි වටහාගෙන විනිශ්චය කළ යුතු ය. මෙනෙහි කළ යුතු ය. මෙසේ වටහාගෙන විනිශ්චය කර ගැනීම ම මෙහි දක්වන ලද්දේ ය යි සැලකිය යුතු යි. ‘අජ්ඣත්ත බහිද්ධවා’ යන ආදී පාඨයෙන් ද තමාගේ ගමන් කිරීම් ආදිය සලකමින් මෙනෙහි කරමින් ගමන් කිරීම ද එකකි. බාහිර වූ අනුන්ගේ කයෙහි පවත්නා ගමනාදිය මෙනෙහි කිරීම ද එකකි. මෙසේ ප්‍රත්‍යක්ෂ ඤාණය හා අනුමාන ඤාණය ද මාරුවෙන් මාරුවට ඇති වන ආකාරය දක්වන ලදේ ය යි සැලකිය යුතු ය.

පාලි

“සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති. වය ධම්මානුපස්සී වා කායස්මිං විහරති. සමුදය වයධම්මානුපස්සී වා කායස්මිං විහරති.”

කෙටි අදහස:

රූප කයෙහි එය උපදවන ප්‍රත්‍යය ධර්මයන් හා ඉපදීම ද අනුව බලමින් වාසය කරයි. රූප කයෙහි වැය (නැති) වීමේ ප්‍රත්‍යය ධර්මයන් හා වැය (නැති) වීම අනුව බලමින් ද වාසය කර යි. රූප කයෙහි ඉපදීමේත් නැසීමේත් ප්‍රත්‍යය ධර්මයන් හා ඉපදීම් - නැසීම් ස්වභාවය අනුව බලමින් ද වාසය කර යි.

එහි විස්තරය:

රූපය උපද වන හේතු සතරය, ඉපදීම ය යන මොවුන්ගේ වශයෙන් මේ සමුදය ධර්‍ම පස මෙනෙහි කරන-සලකන යෝගී පුද්ගලයා “සමුදය ධම්මානුපස්සී” ය යි කියනු ලැබේ. රූපය නැති වීමේ හේතු සතර ය. නැතිවීම ය යන මේ කරුණු පසගේ වශයෙන් මේ ව්‍යය ධර්ම පස මෙනෙහි කරන-සලකන යෝගී පුද්ගලයා “වය ධම්මානුපස්සී” ය යි කියනු ලැබේ. එහි ඉපදවීමේ ද හේතු සතර නම්, අවිද්‍යාව ඇතිවීම ය, තණ්හාව ඇති වීම ය, කර්මය ඇතිවීම ය, අනුභව කරන ආහාරය ඇති වීම ය යන මේ කරුණු සතර ය. ඉපදීම යනු රූපය පිළිබඳ අළුත් අළුත් රූප පහළ වීම ය යි කියන ලද නිබ්බත්ති (උත්පාද) ලක්ෂණය මැ යි. නැතිවීමේ කරුණු සතර නම් අවිද්‍යාව නැති වීම ය, තණ්හාව නැති වීම ය, කය නැතිවීම ය, අනුභව කරන ආහාරය නැතිවීම ය, යන මේ සතර ය. වැය (නැති) වීම නම් හටගත් රූපයාගේ බිඳීයෑම ය යි කියන ලද විපරිනාම ලක්ෂණය මැ යි.

මෙනෙහි කරන ආකාරය මෙසේය:

ගමන් කිරීම් ආදී වූ ඉරියවු ආකාරයන් නො කඩවා සලකා බලන්නා වූ යෝගී පුද්ගලයාහට පච්චය පරිග්ගහ ඤාණය උපදනා අවස්ථාවෙහි පටන් අළුත් අළුත් රූප ඉපදීම පහළවීම ය යි කියන ලද නිබ්බත්ති ලක්ෂණය ප්‍රකට වෙ යි. එවිට රූපයාගේ ඉපදීම මෙනෙහි කළ හැකි වෙ යි. ඉපදීම දත හැකි බැවින් අළුත් භවයක් පළමු කොට පහළ වන අයුරු ද වැටහී එන්නේය. එහෙයින් අළුතෙන් අළුතෙන් උපදනා රූප ආකාරයන් නුවණින් විමසා බලද්දී ම අතරතුර - වරින්වර ඇති සැටි නොදැනීම හෝ වරදවා ගැනීම ය යි කියන ලද අවිද්‍යාව ඇති වන බැවින් මේ රූපය උපදනේ ය යි ද රූපය සුභ එකක් ය යි වටහාගෙන එය ආශ්වාද කරන ආශාව - තණ්හාව ඇති බැවින් මේ රූපය උපදන්නේ ය යි ද, විපාක දෙන කර්මය ඇති බැවින් මේ රූපය හටගන්නේ ය යි ද කන බොන ආහාරය ඇති බැවින් මේ රූපය උපදනේ ය යි ද, යනු කැමති සිතක් ඇති වන බැවින් මේ රූපය ඇතිවන්නේ ය යි ද, උණු සිහිල් ස්වභාව ධාතුවක් ඇති බැවින් උෂ්ණ රූප හා සිහිල් රූප උපදනේ ය යි ද, අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර නැති ව යෑමෙන් මේ රූප ධර්ම ඉපදිය නො හැකි ය යි ද, රූපය උපදනා හේතු ධර්ම හා රූපය නිරුද්ධවන (නැතිවන) හේතු ධර්මයන් ද පාරමී ඤාණානු රූප ව ප්‍රත්‍යවෙක්ෂා කිරීමෙන් මෙනෙහි කර වටහා ගත හැකි ය. උපන් රූපය නිරුද්ධ වීම ය යි කියන ලද විපරිනාම ලක්ෂණය වනාහි සම්මට්ඨාන ඤාණය උපදනා අවස්ථාවෙහි පටන් යෝගී පුද්ගලයාහට වැටහී එන්නේ ය. එතැන් පටන් රූපයාගේ නැති වී යෑම - කැඩී බිඳී යෑම මෙනෙහි කළ හැකි වෙයි. විශේෂ වශයෙන් වනාහි රූපයාගේ ඇතිවීම හා නැතිවීම දන්නා උදයවය ඤාණය මෝරන්ට පටන් ගත් තැන් පටන් විශේෂයෙන් පැහැදිලි ව වැටහෙන්නේ ය. එයිනුත් රූපය නිරුද්ධ වනු දැකීම භංග ඤාණයෙහි පටන් විශේෂයෙන් වැඩියත් ප්‍රකට වෙයි.

පාලි

අත්ථි කායොති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඥාණ මත්තාය පටිස්සති මත්තාය අනිස්සිතො ච විහරති. න ච කිංචි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

කෙටි අදහස:

ස්මෘතිය වැටහෙන ආකාරය වනාහි යෑම් ඊම් ආදි රූප කය පමණක් ඇතැයි ඒ යෝගී පුද්ගලයා හට සිහිය වැටහීම් වශයෙන් එළඹ සිටියා වෙයි. ඒ එළඹ සිටි සිහිය පිළිවෙළින් ඤාණය දියුණු වීම පිණිස ම වෙයි. පිළිවෙලින් නැවත සිහිය වැඩි දියුණු වීම පිණිස ම වෙයි. සිහිය ඇති ව නුවණින් දැන ගන්නා වූ ඒ යෝගී තෙමේ තණ්හා දිට්ඨි දෙක ඇසුරු නො කොට වාසය කරයි. උපාදානස්කන්ධ පස ය යි කියන ලද ලෝකයෙහි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ කිසිවක් මගේ ය යි කියා හෝ මම යයි කියා හෝ තණ්හා දිට්ඨි දෙකින් තදින් අල්වා නො ගනී. මහණෙනි, යෝගී තෙමේ මේ කියන ලද නය ක්‍රමයෙන් ද රූප කයෙහි රූප සමූහය අනු ව බලමින් වාසය කර යි.

එහි විස්තරය:

මේ කොටසෙහි සමාධිය හා ඤාණය විශේෂයෙන් මුහුකුරා ගිය කල්හි සිහිය ඇති වන ආකාරය දක්වන ලදී. සමාධිය හා ඤාණය නො මේරූ යෝගී පුද්ගලයා කෙරෙහි යෑම් ඊම් ආදිය නො කඩවා මෙනෙහි කළ නමුත් මෙනෙහි නො කළ කාලයෙහි තමා තුළ පැවැති වැරදි හැඟීම් ඇති විය හැකි ය. යෑම් ඊම් ආදිය සිදු කරන සත්වයෙක් හෝ ආත්මයක් ඇතිවාක් මෙන් වැටහිය හැකි ය. අත පය ආදි කාය අංගයන් පිළිබඳ නිමිති සටහන් ද වැටහෙමින් පැවැතිය හැකි ය. ඒ කාය අංගයන් තමාගේ අවයව කොටස් වශයෙන් ද තමාට සැප උපදවා දෙන කොටස් වශයෙන් ද වැටහෙන්නේ ය. මෙසේ වැටහෙන වැටහීම් සියල්ල භංග ඥාණය තියුණු වූ කාලයෙහි පටන් දුරු වී යන්නේ ය. එකල්හි යෑම් ඊම් ආදිය සලකා බලන යෝගී පුද්ගලයා හට මෙනෙහි කිරීමේ දී අවබෝධ වූ ඒ රූප ක්‍රියා සමූහය වහ වහා කැඩී බිඳී යන බව, අතුරුදහන් වී යන බව ප්‍රකට වන්නේ ය. අත පය ආදි නිමිති සටහන් ද අතුරුදහන් වෙති. එහෙත් යෝගී පුද්ගල තෙමේ මෙනෙහි කිරීමක් පාසා සලකා බැලීමක් පාසා කැඩී බිදී යන්නා වූ, අතුරුදහන් වන්නා වූ, ආකාර මාත්‍රයක් ම නුවණින් දැන ගන්නේ ය. යෑම් ඊම් ආදිය සිදු කරන්නා වූ සත්වයෙකු වශයෙන් හෝ පුද්ගලයෙකු වශයෙන් හෝ ගත යුතු දෙයක් නො මැති ව තමා පිළිබඳ අත පය ආදින්ගේ වශයෙන් ගත යුතු දෙයක් ද නො ලැබිය හැකි ය. මෙසේ සතිය දියුණු තියුණු වී එන ආකාරය ම නිසා අටුවාවෙහි මෙසේ කියන ලදී.

“අත්ථි කායොති වා පනස්සාති කායො ව අත්ථි න සත්තො, න පුග්ගලො, න ඉත්ථී, න පුරිසො, න අත්තා, න අත්තනියං, නාහං, න මම, න කොචි, න කස්සචීති, එවමස්ස සති පච්චුපට්ඨිතා හොති.” යනු යි.

එහි තේරුම:

කායොති වා පනස්ස යන තන්හි යෑම් ආදී වශයෙන් පැවැති රූපකය පමණක් ඇත්තේ ය. යෑම් ඊම් ආදිය සිදු කරන්නා වූ සත්වයෙක් නැත. පුද්ගලයෙක් නැත. ස්ත්‍රියක් නැත. පුරුෂයෙක් නැත. ආත්මයෙක් නැත. ආත්මයට අයිති සැප ආස්වාද ස්වල්පයකුත් නැත. ගමන් ආදිය සිදු කරන මම ය යි කියනුතෙක් ද නැත. මට අයිති ආශ්වාද ස්වල්පයකුත් නැත. ගමන් ආදිය සිදු කරන කිසිවෙකුත් නැත. කිසිවෙකුට අයිති සැප ආස්වාද ස්වල්පයකුත් නැතැයි මෙ සේ ඒ යෝගී පුද්ගලයා හට සිහිය එළඹ සිටියා වෙ යි.

විස්තරය:

මේ අටුවා වාක්‍යයෙහි “න අතනියං න මම, න කස්සචි” යන මේ තුන් පදයෙන් ආත්මය හා සම්බන්ධ වූ කිසිවක් නැතැ යි දැක්වූහ. “න සත්තො” යන ආදි සත් පදයෙන් ආත්මයක් නැති බව දැක්වූහ. මෙකී පද දසයෙන් ම ආත්ම සුන්‍යභාවය ම දැක්වූහ. මෙසේ වැටහෙන ආකාරය විසුද්ධි මාර්ගයෙහි සංඛාරුපපෙක්ඛා ඤාණය දක්වන තන්හි දසාකාර වූ සුඤ්ඤතානු පස්සනා අවසරයෙහි දක්වන ලදී. එහෙයින් මෙසේ සිහියට වැටහෙන ආකාරය සංඛාරුපෙක්ඛා ඤාණයෙහි දී සම්පූර්ණ වන බව සැලකිය යුතු ය.

තෘෂ්ණා දෘෂ්ටීන් ගෙන් වෙන් වන ආකාරය:

ප්‍රකටව තිබියදී ත් මෙනෙහි නො කරනු ලබන ස්වභාව ධර්මයන් කෙරෙහි නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් වරදවා වටහා ගැනීමෙන් තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇති වෙයි. මෙසේ ඇතිවීම ම තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇසුරු කරමින් විමසීම ය යි කියනු ලැබේ. මෙනෙහි කළ හැකි වුව හොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පැහැදිලි ව වටහාගන්නා ලද ස්වභාව ධර්මයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටි දෙක ඉපදීමට ඉඩ ඇත. මෙසේ තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇසුරු නො කොට විසීම “අනිස්සිත විහරණය” ය යි කියනු ලැබේ. මෙතන්හි යෑම්, සිටීම් ආදිය නො කඩවා මෙනෙහි කිරීමෙන්, ඇති වෙමින් නැති වෙමින් පවත්නා රූප සසූහය ම නුවණැසට හමු වීමෙන් අනිත්‍ය ය යි ද, දුක්ඛ ය යි ද, අනාත්ම ය යි ද, පැහැදිලි ව දැන ගෙන සිටින යෝගියා කෙරෙහි එසේ නුවණැසට හමු වූ රූප ධර්මයන් නිසා තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇති විය නො හැකි ය. එය තදංග නිරෝධයාගේ වශයෙන් නිරුද්ධ වෙමින් පවතින්නේ ය. එහෙයින් එය අනිස්සිත ය යි කියන ලදී. තවද මෙනෙහි කරන ලද අරමුණෙහි තදංග ප්‍රහාණයාගේ වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි දෙක දුරු කිරීමෙන් මෙනෙහි නො කළ රූප, වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන් කෙරෙහි ද ඒවා තදින් අල්වා ගන්නා තණ්හා දිට්ඨි දෙක ඇති විය නොහැකි ය. එවිට විෂ්කම්භන වශයෙන් ප්‍රහාණය කිරීම සිදුවන බැවිනි.

චතුස්සත්‍ය දක්නා ආකාරය

ඉහත කී පරිදි යෑම්, සිටීම් ආදිය මෙනෙහි කොට තණ්හා දිට්ඨි කෙලෙසුන් දුරු කරනු සඳහා ලබා ගත් අත් දැකීමක් ඇති යෝගියාහට මෙනෙහි කිරීමක් පාසා ගමන පිළිබඳ සිත හා ඒ ගමන පිළිබඳ රූපයත් සලකා බලන සිහි නුවණ ද යන මොවුන්ගේ ඇති වන - නැති වන අනිත්‍ය ලක්ෂණ ආදිය දැන ගැනීමෙන් දුක්ඛ සත්‍යය පිරිසිඳ දැන ගැනීම ය යි කියන ලද පරිඥා කෘත්‍යය ද සිදුවෙ යි. එසේ දැන ගන්නා ලද ප්‍රාර්ථනා කරන - ආශ්වාද කරන සමුදය සත්‍යය තරංග වශයෙන් පහ කිරීම ය යි කියන ප්‍රහාණ කෘත්‍යය ද සිදුවෙ යි. ඇතිවීම - නැතිවීම යන මේ අනිත්‍ය ලක්ෂණ ආදිය නො දැනීම හෝ වරදවා ගැනීම වූ අවිද්‍යාව ආදී කෙලෙස් ය, කර්මය හා විපාකකන්ධය යන මේ තෙවැදෑරුම් වට්ට දුක්ඛය සංසිඳුවන තද නිරොධය වූ තදඩ්ග නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම ය යි කියන ලද සච්ඡිකිරිය කෘත්‍යය ද සම්පූර්ණ වෙ යි. ඇති සැටියෙන් දක්නා සම්මා දිට්ඨි ආදි වූ පූර්වභාග මාර්ගය වැඩීමෙන් ලෞකික මාර්ග සත්‍යය වැඩීම ය යි කියන ලද මාර්ග කෘත්‍යය සිදුවෙයි. භාවනා කෘත්‍යය ද සම්පූර්ණ වෙ යි.

චතුස්සත්‍යය පිළිබඳ කෘත්‍යය සතරක් සිදු කරන මේ නය ක්‍රමයෙන් රෝගියා විසින් සලකා බැලීමක් පාසා චතුස්සත්‍යය එකවරට ම අවබෝධ වී විදර්ශනා ඥානය පිළිවෙළින් දියුණු වී අවුත් ආර්ය මාර්ගයෙන් නිවනට පැමිණෙ යි. එකල්හි නිවන ප්‍රත්‍යක්ෂ කරනු ලැබීමෙන් - දකිනු ලැබීමෙන් - එය සලකා බැලීමට උපකාර වූ සිහිය හා ඉපිද නැති වන සියලු සංස්කාර ධර්මයන් දුක ය යි සැක රහිතව- මුළා නොවී දත හැකි ය. එහෙයින් දුක්ඛ සත්‍යය පිරිසිදු ව දැන ගැනීම් කෘත්‍යය ද සිදුවෙ යි. මෙය පරිඥා ප්‍රතිවේධය මැ යි. මේ දුක ය යි නිසැකව දැන ගත හැකි වන බැවිනි. සංස්කාරයන් කෙරෙහි ආසාව - ආශ්වාදය උපදචන …??….. තව ද සහමුලින් සංසිඳෙන්නී ය. එහෙයින් සමුදය පහකිරීම් කෘත්‍යය ද සිදුවෙ යි. මෙය ප්‍රහාණ ප්‍රතිවේධය යි. නිර්වාණය දැක ගැනීමෙන් ආර්ය මාර්ගය පහළවන බැවින් මාර්ග සත්‍යය වැඩීම් කෘත්‍යය ද සිදුවී ය. මෙය භාවනා ප්‍රතිවේධය යි. නිරෝධ සත්‍යය අවබෝධ කිරීමේ කෘත්‍යය සම්පූර්ණ වන අයුරු ප්‍රකට විය. මෙසේ ආර්ය මාර්ගයක්ෂණේ යෙහි නිර්වාණය තමා හමුවෙහි දැක ගනිමින් දුක්ඛ, සමුදය, මාර්ග සත්‍ය තුනෙහි පරිඥා ප්‍රතිෂ්ට, ප්‍රහාණ ප්‍රතිවේධ, භාවනා ප්‍රතිවේධ කෘත්‍යය සම්පුර්ණ කිරීම ම “ආර්යය මාර්ග ඥානයෙන් චතුස්සත්‍යය එක්වරට ම දක්නේය” යි කියන ලදී. මෙසේ කියන ලද පරිදි එක්වරට ම චතුසත්‍යය දකිනු ලැබීමෙන් ආර්ය මාර්ග ඥාන කෘත්‍ය සතර සම්පුර්ණ කළ හැකි බැවින් ඉරියාපථ පබ්බයෙහි වූ දේශනා නියමය අනුව මෙනෙහි කළයුතු, මේ භාවනා ක්‍රමය සත්වයන් සංසාර දුක්ඛයෙන් එතෙර කරවන්නා වූ උතුම් මාර්ගයක් ය යි අටුවා කථායෙහි කියන ලදී.

ඉරියාපථපබ්බය නිමි.

කායානුපස්සනායෙහි (3) සම්පජඤ්ඤ පබ්බය

“පුන ච පරං භික්ඛවෙ භික්ඛු අභික්කන්තෙ පටික්කිත සම්පජානකාරී හොති.”

කෙටි අදහස:

මහණෙනි! නැවත ද අන්‍ය මනස්කාර ක්‍රමයක් කියනු ලැබේ. යෝගී තෙමේ ඉදිරියට යෑමෙහි ද ආපසු ඊමෙහි ද සම්පජානකාරී (නුවණින් දැන කරන්නේ නොහොත් නුවණ ඇති කරන්නේ නොහොත් දැන ගනිමින් හෝ දැන දැන කරන්නේ) වෙයි.

එහි විස්තරය:

අටුවාවෙහි වනාහි සම්පජාන පදය සම්පජඤ්ඤ පදය මෙන් ම ඤාණය ප්‍රකාශ කරන පදයක් යයි ගෙන “සම්පජඤ්ඤෙන සබ්බකිච්චකාරි සම්පජඤ්ඤ මෙව හා කාරී” ය යි දක්වන ලදී. ඒ අර්ථ වර්ණනාව අනුව “ඤාණයෙන් කරන්නේ ය යි” ද, ඤාණය ඇති කරන්නේ ය යි ද යන දෙයාකාරයකින් අර්ථය ප්‍රකාශ කරන ලදී. එහි ප්‍රථම අර්ථයාගේ වශයෙන් ඉදිරියට යෑම් ආදී හැම කෘත්‍යයක් ම කරනු කැමැති කල්හි ඤාණයෙන් ම කළ යුතු ය. ඤාණයෙන් තොරව නොකළ යුතු ය යනු එහි තේරුම යි. දෙවෙනි අර්ථයාගේ වශයෙන් ඉදිරියට යෑම් ආදිය කරන කල්හි ඤාණය ඉපදවිය යුතු ය යි කියන ලදී. තවද දැන ගනිමින් හෝ දැන දැන කරන්නේ ය යි කියන ලද තෙවෙනි අර්ථය වශයෙන් වනාහි “සම්පජානො හුත්වා කාරි සම්පජානකාරී” යන ශබ්ද නය අනුව වචනාර්ථය ප්‍රකාශ කිරීම සුදුසු ය යි හැඟෙනවා ත් හැර එය නියම අර්ථය කෙලින් ම දක්වන ලද වචනාර්ථයක් ම ය. මෙකී අර්ථයේ හැටියට ඉදිරියට ගමන් කිරීම් ආදිය පැවැත්වීමේ දී දැන දැන කළ යුතු ය. නො දැන නො කළ යුතු ය යන අදහස පැහැදිලි වෙයි. දැනගනිමින් හෝ දැන දැන කරන්නේ ය යන මේ තුන්වෙනි අර්ථය (සම්පජාන කතං, දැන ගනිමින් කරන ලද, සම්පජාන මුසාවාදෙ, දැන දැන බොරුකීම යන ආදී තන්හි එන සම්පජාන ශබ්දය සමග) සමානව පවත්නා බව සැළකිය යුතු ය.

සම්පජඤ්ඤ පදාර්ථය

“සම්මා සමන්තතො, සාමඤ්ච පජානතො, සම්පජානො අසම්මිස්සතො, වවත්ථානෙ අඤ්ඤ ධම්මානුපස්සිතා වෙන. සම්මා - අවිපරීතං, සබ්බාකාර පජානනෙන සමන්තතො, උපරුපරි විසේසාවහාභාවෙන පවත්තියා සයං පජානතොති අස්ථා” යනු සම්පජාන පදය වර්ණනා කළ ටීකා පාඨය යි.

“සමන්තතො පකාරෙහි, පකට්ඨං වා සවිසේසං පජානාතීති සම්පජානො, සම්පජානස්ස හාවො සම්පජඤ්ඤං, තථා පවත්ත ඤාණං සම්මාපජානනං සම්පජානං” යනු නිද්දෙසයෙහි එන සම්පජඤ්ඤ පදය පිළිබද ටීකා පාඨ ය යි.

මෙකී ටීකා පාඨයන්ට අනුව සම්පජාන සම්ජඤ්ඤ යන දෙපදයෙහි අර්ථ සයක් දැක්විය හැකි ය.

(1) මනාකොට ප්‍රකාරයෙන් දැන ගැනීම ය.

(2) මනාකොට වීශේෂයෙන් දැන ගැනීම ය.

(3) සම්පූර්ණ කොට ප්‍රභේද වශයෙන් දැන ගැනීම ය.

(4) සම්පූර්ණ කොට විශේෂයෙන් දැන ගැනීම ය.

(5) තමා විසින් ම ප්‍රකාරයෙන් දැන ගැනීම ය.

(6) තමා විසින් ම විශේෂයෙන් දැන ගැනීම ය යනු ඒ අර්ථ සය ය.

එහෙත් “මනා කොට දැන ගැනීම” යන මේ අර්ථය ගැනීමෙන්, දත යුතු දෑ ඇතිතාක් සම්පූර්ණ කොට දැන ගැනීම හා, තමා විසින් දැන ගැනීම ද දැක්විය හැකි ය. ප්‍රකාර (ප්‍රභේද) යෙන් දැන ගන්නා අර්ථයෙහි ද ස්වභාව ලක්ෂණය, සංඛත ලක්ෂණය, සාමාන්‍ය ලක්ෂණය යන මෙකී ප්‍රහෙද වශයෙන් දැන ගැනීම ම සිදුවන බැවින් එය ප්‍රකෘති දැනීමට වඩා විශේෂ දැනීමක් ම වේ. එහෙයින් උදෙසා වාරයෙහි සම්පජානො යන පදයට “මනාකොට ප්‍රකාරයෙන් දැන ගන්නේ” ය යන එක අර්ථයක් ම දක්වන ලදී. මෙහි අර්ථය කෙටි කරනු පිණිස ඤාණ ය යි කියා හෝ, දැන ගැනීම යයි කියා හෝ යන මෙපමණක් ම කියන ලදී. ඥාණය හෝ දැන ගැනීම යන මේ අර්ථයන්ගෙන් ද ඉහත දැක් වූ අර්ථ සය ම දක්වන ලදැ යි දත යුතු ය. දැන ගන්නා ඤාණය යනුවෙන් ඇති සැටි දැනීම ම උදුරා දක්ව යි. වරදවා දැනීම නොදක්ව යි. දත යුතු දෑ සියල්ල සම්පූර්ණ කොට දැන ගැනී මෙන් ම ඇති සැටි දැන ගැනීම සිදු වෙයි. එක කොටසක් දැන ගත් පමණින් ම ඇති සැටි දැන ගැනීම සිදු නො වෙයි. තමාට ම මුණගැසී ඇසින් දක්නා ලද්දක් මෙන් තමාගේ නුවණින් දැන ගැනීම ම ඥාණයෙන් දැන ගැනීම ය යි කිය යුතු ය. අනුන්ගෙන් අසන්නට ලැබී දැන ගැනීම වනාහි විදර්ශනා විෂයෙහි ඇති විය හැකි ඤාණයට ළං වූ දැන ගැනීමකුදු නො වන්නේ ය. තවද ස්වභාව ලක්ෂණ - සංඛත ලක්ෂණ - සාමාන්‍ය ලක්ෂණයන්ගේ වශයෙන් දැන ගැනීම ම විදර්ශනා විෂයයෙහි ඤාණයෙන් දැනගැනීම ය යි කියනු ලැබේ. මෙසේ වූ දැන ගැනීම ප්‍රකෘති දැන ගැනීමට වඩා විශේෂ වූ දැන ගැනීමක් ද වන්නේ ය. එහෙයින් මෙතන්හි ‘ඤාණයෙන් දැන ගැනීම හෝ දැන දැන කරන්නේ’ යන අර්ථ දෙක පමණක් ප්‍රමාණවත් ය යි සැලකිය යුතු ය.

සම්පජඤ්ඤ පබ්බය.

සම්පජඤ්ඤ ය යි කියන ලද ඤාණය සිවු වැදෑරුම් වේ.

එනම්:

1. සාත්ථක සම්පජඤ්ඤය.

2. සප්පාය සම්පජඤ්ඤය.

3. ගොචර සම්පජඤ්ඤය.

4. අසමොහ සම්පජඤ්ඤය යන මේ සතර ය.

සාත්ථක සම්පජඤ්ඤය

යෑම් ඊම් ආදී කටයුතු කරනු කැමැත්තක් ඇති වූ කල්හි, එක් වරට ම නො කොට එය කිරීමෙන් ඇති වන හෝ නො වන ප්‍රතිඵලය හෝ ප්‍රයෝජනය සලකා බලා ප්‍රයෝජනයක් තිබේ නම් කළ යුතු ය. නො තිබේ නම් නොකළ යුතු ය. මෙසේ ප්‍රයෝජනයක් ඇති බව හෝ නැති බව පළමු කොට සලකා බැලීම සාස්ථක සම්පජඤ්ඤ ය යි.

සප්පාය සම්ජඤ්ඤය

සාර්ථක (ප්‍රයෝජනවත්) කටයුත්තක් වුව ද එය කිරීම සුදුසු ද නුසුදුසුදැ යි නුවණින් සළකා සුදුසු ය යි වැටහේ නම් කළ යුතු ය. නුසුදුසු ය යි වැටහේ නම් නො කළ යුතු ය. චෛත්‍ය දර්ශනය හෝ එයට පුද සත්කාර පැවැත්වීම සාර්ථක ය. එහෙත් බොහෝ ජනයා රැස්ව මහා පූජෝත්සව පවත්නා කාලයෙහි එහි යෑම යෝගී පුද්ගලයාහට සප්පාය නොවන්නේ ය. ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂය තම තමන්ගේ වත් පොහොසත් කම් අනුව අගනා විසිතුරු වස්ත්‍රාභරණ හැඳ පැළඳ සිත් ඇද ගන්නා සිතියම් කළ ප්‍රතිමා රූප මෙන් එතන්හි හැසිරෙති. එවිට ඉෂ්ට අරමුණෙහි ලෝභය ද, අනිෂ්ට අරමුණෙහි ක්‍රෝධය ද ඇති විය හැකි බැවිනි.

මෘත ශරීරයෙහි අසුභ දර්ශනය ද සාර්ථක වෙ යි. එහෙත් පුරුෂයා හට ස්ත්‍රී මෘත ශරීරය හා ස්ත්‍රියට පුරුෂ මෘත ශරීරය ද සප්පාය නො වේ. සභාග මෘත ශරීරයක් දැකිම ම සප්පාය වේ. ධර්ම ශ්‍රවණය ද සාර්ථක වෙයි. එහෙත් සාමාන්‍ය කටයුතු සඳහා ජනයා රැස් වූ ස්ථානයෙහි ද වැඩ කටයුතු බහුල ස්ථානයෙහි ද පුරුෂයා විසින් ස්ත්‍රියට හෝ ස්ත්‍රිය විසින් පුරුෂයාට රහසිගතව ද දහම් දෙසීම සප්පාය නො වේ. මෙහි සුදුසු නුසුදුසුකම් නුවණින් සලකා බැලීම සප්පාය සම්පජඤ්ඤ නම් වේ.

මේ සාත්ථකසම්පජඤ්ඤය හා සප්පාය සම්පජඤ්ඤය ලෞකික ලෝකෝත්තර දෙපක්ෂයෙහි ම උපකාර වෙයි. මෙකී සම්පජඤ්ඤ දෙකින් යුක්ත වූ කල්හි ලෝකයෙහි ද උසස් තත්වයක් ලබා ගත හැකි ය. සමථ විදර්ශනා පිළිබඳ සමාධිය හා ප්‍රඥාව ද සීඝ්‍ර ව ලැබිය හැකි වෙයි. එහෙත් මේ සම්පජඤ්ඤ දෙක සමථය හෝ විදර්ශනාව ද නො වේ. සමථ විදර්ශනාවන්ට උපකාර වන අත්තිවාරමක් වැනි වෙයි. පාරිහාරික පඤ්ඤා ය යි ද විසුද්ධි මාර්ගයෙහි මෙයට නම් කරන ලදී.

ගොචර සම්පජඤ්ඤය

සාත්ථක - සප්පාය සම්පජඤ්ඤ දෙක සම්පාදනය කළ සමථ යෝගියා විසින් ගන්නා සමථ කර්මස්ථාන අරමුණ ද, විදර්ශනා යෝගියා විසින් ගන්නා උපාදානස්කන්ධ පඤ්චක සංඛ්‍යාත අරමුණ ද ගොචරසම්පජඤ්ඤ නම් වේ. මෙසෙයින් මේ සම්පජඤ්ඤ පබ්බ විෂයයෙහි භාවනා කරන යෝගියා විසින් ඉදිරියට යන කල්හි පය ඉස්සීමක්, ගෙන යෑමක්, තැබීමක් පාසා “යනවා යනවා” යන ආදී වශයෙන් නොකඩවා මෙනෙහි කරමින් යා යුතු ය. පස්සට යෑම් ආදියෙහි ද මේ ක්‍රමය මැ යි.

මෙතන්හි සතර සතිපට්ඨානය හා එහි අරමුණු සතර ම යෝගී සිත හසුරුවන ස්ථාන වන බැවින් ගෝචර ය යි ද ඒ අරමුණු සතරෙහි නො කඩවා පවත්වන ඤාණය ම ගොචර සම්පජඤ්ඤ ය යි ද සැලකිය යුතු ය.

එහෙයින් සතිපට්ඨාන සංයුක්තයෙහි:

“ගොචරෙ භික්ඛවෙ චරථ සකෙ පෙත්තිකෙ විසයෙ, ගොචරෙ භික්ඛවෙ චරතං සකෙ පෙත්තිකෙ විසයෙ න ලච්ඡති මාරො ඔතාරං න ලච්ඡති මාරො ආරම්මණං. කො ච භික්ඛවෙ භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයො, යදිදං චත්තාරො සතිපට්ඨානා.” යි වදාරණ ලදී.

මේ දේශනා නියමය අනුව නිතර සතිපට්ඨාන භාවනාවේ යෙදීම ම ගොචර සම්පජඤ්ඤ ය යි ස්ථිර ව ම සලකා ගත යුතු ය. එහෙයින් ම අටුවායෙහි “කම්මට්-ඨානස්ස පන අවිජහන මෙව ගොචර සම්පජඤ්ඤං” යි කීහ. කමටහන අත් නොහැරීම ම ගෝචර සම්පජඤ්ඤය වෙයි යනු එහි තේරුම යි.

අභික්කන්ත - පටිකන්ත පද විස්තර කළ අටුවායෙහි ගොදුරු ගමෙහි දී කමටහන අත් නොහැරිය යුතු ය යි දැක්වූයේ, ගොදුරු ගම නිතර සිහිවිකල විය හැකි ස්ථානයක් වූ බැවිනි. එහි දී කමටහන අත්නොහැරිය යුතු ය යි දැක් වූ නිසා, ගොදුරු ගමෙහි දී හැර ආරාමයෙහි දී ගොචර සම්පජඤ්ඤය නොවුව මනා ය යි වරදවා තේරුම් නොගත යුතු ය.

මේ ගොචර සම්පජඤ්ඤය පිළිබඳ ව අටුවායෙහි පුද්ගලයන් සතර දෙනෙකු දැවුහ. එනම්:

1. හරති න පච්චාගරතී - ගමේ හැසිරෙන කල්හි ම කමටහන මෙනෙහි කරමින් ගොස් ආපසු අරමට එන කල්හි කමටහන නොගෙන එන පුද්ගලයා ය.

2. න හරති පච්චාහරති - ගමේ හැසිරෙන කල්හි කමටහන ගෙන නොගොස් ආපසු අරමට එන කල්හි කමටහන ගෙන එන පුද්ගලයා ය.

3. න හරති න පච්චාහරති - ගමේ හැසිරෙන කල්හි ද කමටහන ගෙන නො ගොස් ආපසු ආරමට එන කල්හි ද කමටහන නො ගෙන එන පුද්ගලයා ය.

4. හරති පච්චාහරති - ගොදුරු ගමේ හැසිරෙන කල්හි ද ආපසු අරමට එන කල්හි ද කමටහන අත් නො හරින පුද්ගලයා ය.

මේ සිවු දෙනාගෙන් ප්‍රථම භික්ෂුව දවල් කාලයෙහි සක්මන් කිරීමෙන් හා ඉඳ ගනිමින් නො කඩවා කමටහන් වඩා, නීවරණයන් කෙරෙන් සිත පිරිසිදු කොට, රෑ ප්‍රථම යාමයෙහි ද භාවනා කොට මධ්‍යම යාමයේ සැතපී පශ්චිම යාමයෙහි ඉඳ ගැනීමෙන් හා සක්මනින් භාවනානුයෝගී ව සිට, චෛත්‍ය, බෝමලු ආදියෙහි වත් පිළිවෙත් කොට, ශරීරය පිළිබඳ කළ යුතු පිළිදැගුම් ද නිමවා සේනාංසනයට ඇතුල් ව, ඉඳීම් වාර දෙකක් තුනක් හොඳින් භාවනා කොට, කමටහන් අත් නො හැර ම ගමට පිඬු පිණිස යන්නේ ය. ආපසු අරමට එන කල්හි සාමණේර හා තරුණ භික්ෂූන් සමග කථා බස් කරමින් කර්මස්ථානයෙන් තොර ව ආපසු එන්නේ ය. මේ භික්ෂුව යන කල්හි පමණක් කමහන ගෙන ගොස් එන කල්හි නො ගෙන එන පුද්ගලයා ය. ද්විතීය භික්ෂුව රෑ දාවල් දෙක්හි ප්‍රථම භික්ෂුව සේ කමටහන් වඩයි. එහෙත් පිඬු සිඟා යන කල්හි බඩගින්න අධික වීමෙන් ශරීරය දුර්වල වන බැවින් ඩහදිය ගලන්ට පටන් ගනී. එබැවින් කමටහනෙහි සිත එකඟ නො වේ. එහෙයින් භාවනාවෙන් තොර ව ම පිඩු සිඟා ගොස්, කැඳ හෝ වෙන යමක් ලැබ එය දෙතුන් වරක් වැළඳීමෙන් පසු තද බඩගින්න සංසිඳුනු කල්හි, කර්මස්ථානය මෙනෙහි කරමින් වළඳා කර්මස්ථානයෙන් යුක්ත ව ම වාසස්ථානයට ආපසු එන්නේ ය.

මේ කියන ලද්දේ යන විට කමටහන ගෙන නො ගොස් එනවිට ගෙන එන පුද්ගලයා ය. මෙවැනි භික්ෂූන් කැඳ බොද් දී, දන් වළඳද් දී රහත් වූවෝ බොහෝ ය යි කියන ලදී. සිංහල ද්වීපයෙහි ම ඒ ඒ නගර ග්‍රාමයන්හි පිහිටි ආසන ශාලාවල වැඩ හිඳ කැඳ, බත් වළඳමින් භික්ෂුන් රහත් බවට නො පැමිණි එක ම ආසන ශාලාවකුත් නැති බව අටුවාවෙහි සඳහන්ව තිබේ. (මෙය බුද්ධ වර්ෂ 930 දී පමණ ලියූ අටුවා පොත්වල ඇතුළත් ව තිබෙන කියමනකි. එය ඒ කාලයෙහි මේ දිවයිනේ පැවැති තත්වය විනා දැන් පවත්නා තත්වය නොවේ.) මෙසේ ආහාර අනුභව කරන කාලය හෝ එම ක්‍රියාව කමටහනින් තොර වූ කාලයක් හෝ හිස් ක්‍රියාවක් යයි නො සිතා ඒ කාලයෙහි ද ගොචර සම්පජඤ්ඤය ගරුකොට වැඩිය යුතු ය.

තුන්වැන්නා වනාහි භික්ෂුවක් වුවහොත් කමටහන් වැඩිය යුතුම ය යන හැඟීම් මාත්‍රයකු වූ නොමැති ව හැම දා ම භාවනාවෙන් තොර ව වසන භික්ෂුව ය. මෙබඳු භික්ෂුව හැම කල්හි කෙලෙසුන්ට වසඟ ව වසන බැවින් ප්‍රමාද විහාරි ය යි කියන ලදී. තවද මෙතෙම මේ භවයෙහි මාර්ග ඵල නොලැබිය හැකි යයි ද, ලැබීම පිණිස වෑයම් නොකළ යුතු ය යි ද, භාවනායෙහි ආලය දුරුකොට - ධුරනික්‍ෂේපය කොට වසන නික්බිත්තධීර පුද්ගල නමුදු වෙයි. තවද බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයෙහි සැක කිරීම ය. සබ්‍රම්සරුන් කෙරෙහි ක්‍රෝධ කිරීම ය, (එනම් කමටහන් වඩන යෝගීන් කෙරෙහි පවත්නා ක්‍රෝධය යි.) ශික්‍ෂාවෙහි සැක කිරීම ය යන පස් වැදෑරුම් චේතෝඛිල ධර්මයන්ගෙන් යුක්ත වීම ය. තවද හෙතෙම පඤ්චකාමයෙහි බලවත් ආශාව ය, ස්වකීය ශරීරයෙහි බලවත් ආශාව ය, බාහිර රූපයෙහි බලවත් ආශාව ය, බඩ පිරෙන තෙක් ආහාර අනුභව කොට සැතපී නිද්‍රා සුඛය භුක්ති විඳීම ය, දිව්‍ය සම්පත් පමණක් ප්‍රාර්ථනා කිරීම ය යන චේතෝවිනිබන්ධ ධර්ම පඤ්චකයෙන් වෙලී බැඳී පවතින්නේ ය. එහෙයින් මෙවැනි භික්ෂුව ආරාමයෙහි දිවා රෑ වාසය කරමිනුත් හාවනාවට කිසිසේත් සිත නොයොද යි. ගමෙහි ඇවිදින කල්හි ද භාවනාව ගැන නොසිත යි. දායක දායිකාවන් හා කථා කිරීමේ දී ද, භාවනානුයෝගියෙකු නොව යහලුවෙකු ලෙස කථා කර යි. කර්මස්ථානයෙන් තොර ව ම ආපසු අරමට එයි. මොහු ගෝචර සම්පජඤ්ඤයෙන් සර්ව ප්‍රකාරයෙන් තොර වූ පුද්ගලයා ය. ශාසන ඇසින් බලන්නහුට මොහු ඉතා ආකුල පුද්ගලයෙක් බව වැටහෙන්නේ ය.

ගොදුරු ගමට යෑමේ දී හා ආපසු අරමට ඒමේ දී භාවනාවෙන් යුක්ත ව යන එන භික්ෂුව නම්, පළමු කී භික්ෂුව මෙන් රෑ දාවල් දෙක්හි ද, පිඬු සිඟා යාමේ දී සහ ආපසු ඒමේ දී ද, භාවනාව අත් නො හැර මෙනෙහි කරමින් යන එන භික්ෂුව ය. නිදා ගන්නා වේලාව හැර රෑ දාවල් දෙක්හි සෑම මොහොතක දී ම කමටහන් මෙනෙහි කරන භික්ෂුව ය. කටයුතු බහුල වීමෙන් කමටහන් අමතක වන පිඬු සිඟා යෑමේ දී හා ආපසු ඒමේ දී පවා, කමටහන් අත් නොහැර මෙනෙහි කිරීම ගතපචාගතික වත ය යි කියනු ලැබේ. බුදුරදුන් ජීවමාන කාලයෙහි සිට වර්ෂ 900 යකටත් වැඩි කාලයක් ගත වන තෙක් ප්‍රතිපත්තිය හොඳින් දියුණු වී පැවැති පූර්ව කාලයෙහි මේ ගතපච්චාගතික වත පිරූ සැටි අටුවායෙහි ප්‍රකාශ ව ඇත.

තමාගේ අධ්‍යාත්මික දියුණුව ප්‍රාර්ථනා කරන කුලපුත්‍රයා බුදුසසුනෙහි පැවිදි ව දස නමක් හෝ විසි නමක් - තිස් නමක් - හතලිස් නමක් - පනස් නමක් සිය - නමක් වූ හෝ පැවිදි පිරිස් සමග එක් ව වාසය කරන කල්හි කතිකාවතක් අනුව ක්‍රියා කළ යුතු ය. කෙසේ ද යත්? ඇවැත්නි! අපගේ මහණ පැවිදි වීම ණය තුරුස් වලින් නිදහස් වීම රාජ භය ආදියෙන් නිදහස් වීම සඳහා හෝ, ජීවිකාව කර ගැනීමේ අමාරුකම නිසා හෝ නොව, ඒකාන්තයෙන් සසර දුකින් නිදහස් වීම සඳහා ම ය. එහෙත් පැවිදි වූ පමණකින් ම සසර දුකින් නිදහස් විය නො හැකි ය. සසර දුකට මුල් වූ, කෙලෙස් දුරු කළ හැකි වුව හොත් දුකින් නිදහස ලැබිය හැකි ය. එහෙයින් ගමන් කිරීමේ දී උපදනා කෙලෙස් ගමනේ දී ම සංසිඳ විය යුතු ය. (සුදුසු පරිදි මෙනෙහි කිරීමෙන් හෝ පුරුදු අරමුණ මෙනෙහි කිරීමෙන්

හෝ කෙලෙස් දුරු කළ හැකි ය.) සිටීම, හිඳීම, හොවීම යන ඉරියව් වල දී උපදනා කෙලෙස්, ඒ ඒ මොහොතේ දී ම සංසිඳවිය යුතු ය යි, මෙසේ කතිකා වතක් අනුව පිළිපැදිය යුතු ය. මෙසේ පිළිපදින කල්හි ගමන් කරන විට කෙලෙස් ඇතිවුව හොත් ඒ ගමන්නේ දී උපන් කෙලෙස් එකෙණෙහි ම දුරු කළ නොහැකි වුව හොත් ගමන නවතා එතැන ම සිටගෙන සිටිය යුතු ය. අනික් භික්ෂුන් සමග එක පෙලට ගමන් කරන විට පළමුවෙන් යන භික්ෂුව නො ගොස් සිටින විට පසුව යන භික්ෂුව ද නො ගොස් සිටී. එකල්හි කෙලෙස් ඉපිද සිටින භික්ෂුව තමන්ට තමා ම අවවාද කර ගත යුතු ය. කෙසේ ද යත්? “පසුව එන භික්ෂුව ද තොපගේ කැත අදහස දැන ගත්තේ ය, මේ නරක අදහස තොපට නො ගැලපෙන්නේ ය, ලජ්ජා නැද්ද” යන ආදි වශයෙන් තමාට ම දොස් පවරා ගෙන විදර්ශනා වඩා ආර්යය මාර්ගයට පැමිණි ආර්යය පුද්ගලයෝ ද පූර්වයෙහි පහළ වූහ. සිට ගෙන භාවනා කොට කෙළෙස් පහකළ

නො හැකි වුව හොත් වාඩි විය යුතු ය. එවිට පසුව එන භික්ෂුව වාඩිවිය යුතු බව හා තමන්ට දෝෂාරෝපණය කර ගැනීම් ආදිය ද පෙර කී සේ ම ය. මෙසේ මෙනෙහි කොට ද ආර්යය භාවය නො ලදහොත් උපදිමින් පවත්නා දේශය තදඩ්ග වශයෙන් දුරු කොට කමටහන් අරමුණ මෙනෙහි කරමින් ම යා යුතු ය. කමටහනින් තොරව ඉදිරියට යෑමට පය නො එසවිය යුතු ය. කමටහන අමතක වී ඉදිරියට යැවුනා නම් කමටහන අමතක වූ මුල් තැනට ආපසු යා යුතු ය. එතැන් සිට කමටහන නැවත මෙනෙහි කරමින් යා යුතු ය. මෙසේ කමටහන් වැඩීම ආලින්දක විහාරවාසී මහා ඵුස්සදේව තෙරුන්වහන්සේගේ පිළිපැදීම් ආදීයෙන් දත යුතු ය. උන්වහන්සේ එකුන් විසි වූ අවුරුද්දක් මුළුල්ලෙහි ගතපචාගත වත පුරමින් විසූහ. උන්වහන්සේ පිඬු පිණිස යන මාර්ගය සමීපයෙහි ගොවිතැන් කරන ගොයම් කපන පාගන මනුෂ්‍යයෝ ද එසේ වඩින උන් වහන්සේ …… “නැවත නැවත ආපසු හැරී ගමන් කරති. කිමෙක මංමුළා වී වඩිනවා ද? නැතහොත් යමක් අමතක වීමෙන් වඩිනවා දෝ හෝ” යැ යි කියති. උන්වහන්සේ ඒ කථාව ගණනකට වත් නොගෙන භාවනා සිහියෙන් යුක්තව ම ගමන් කරමින් විසි වර්ෂයක් ඇතුළත රහත් බවට පැමිණි සේක. රහත් වූ දිනයෙහි ම උන්වහන්සේගේ සත්මන් මලු කොණෙහි අධිගෘහිත දේවතාවා ස්වකීය ඇඟිලිවලින් පහන් අලෝක විහිදුවමින් සිටියා ය.

තවද කාලවල්ලිමණ්ඩප විහාරවාසී මහා නාග තෙරණුවෝ ද, ගතපච්චාගත වත පුරමින් පළමුකොට භාග්‍යවතුන් වහන්සේගේ දුෂ්කර චරියාවට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරනෙමැ යි, සත් වසක් මුළුල්ලෙහි දන් වැලදීම් ආදියෙහි දී අවශ්‍යයෙන් කළ යුතු වූ වාඩිවීම හැර, සිටීම, සක්මන යන මේ ඉරියව් දෙකින් කල් යවන්නෙකැ යි අධිෂ්ඨාන කර විසූහ. ඊට පසු සොළොස් වසක් මුළුල්ලෙහි ගතපචාගත වත පුරා රහත් වූහ. උන්වහන්සේ තුළ පැවැති විශේෂය නම් පිඬු සිඟා යන විට වතුර ටිකක් කටේ තබා ගෙනයෑ ම ය. එයට හේතුව නම් දන් බෙදන හෝ වඳින දායක දායිකාවනට “සුවපත් වෙත්වා!”, “දීඝායු වෙත්වා!” යන වචන මාත්‍රයෙන් වත් සමාධිය නො කැඩෙවා යන අධිෂ්ඨානය නිසා ය. එහෙත් යම්කිසිවෙකු ප්‍රශ්නයක් ඇසුවහොත් කටේ තිබෙන වතුර ගිල එයට පිළිතුරු දෙයි. ඉදින් නො විචාලහොත් ගම්දොර සමීපයෙහි දී වතුර ඉවත ලා වඩිති.

ගලම්බුතිත්ථ විහාරයෙහි වස් එළඹ විසූ භික්ෂුන් පණස් නම ද මෙසේ ම පිළිපදින්නාහු ය. ඒ භික්ෂුහු වස් සමාදන් වන දිනයට පෙර ඇසළ පුණු පොහෝ දිනයෙහි “අපි රහත් නොවී, රහත් වන තෙක් ඔවුනොවුන් කථා බස් නොකරන්නෙමු” ය යි කතිකාවතක් පැනවූහ. මෙය නුවුවමනා කථා බස් නො කිරීමට ය. ඉතා වුවමනා කරුණක් ගැන කථා බස් කළාට වරදක් නැත. කිසිවක් කථා නො කර ම මූග ව්‍රතය සමාදන් වුවහොත් ඇවතක් සිදුවන බව භික්ෂු විනයෙහි සඳහන් ව ඇත.

ගමට පිඬු පිණිස යන විට ද වතුර උගුරක් කටේ ඇති ව යති. කෙනෙකු ප්‍රශ්නයක් ඇසුවහොත් වතුර ගිලීමෙන් එය විසඳති. ප්‍රශ්න අසන්නෙකු හමු නොවුවහොත් ගම් දොරකඩ දී එය ඉවත දමායති. වතුර දැමූ සලකුණු බලා ගම්වැසියෝ අද මෙපමණ භික්ෂූන් ගමට පිඬු සිඟා වැඩියාහු යැයි දැන ගනිති. ඒ භික්ෂූන් පණස් නම එම වස් තෙමස ඇතුළතදී ම රහත් ඵලයට පැමිණියාහු ය. මෙහි දැක්වෙන පරිදි මහා පුස්සදෙව ස්වාමීන් වහන්සේ මෙන් - මහා නාග ස්වාමීන් වහන්සේ මෙන් - ගලම්බිතිත්ථ විහාර යෙහි වස් එළඹ විසූ භික්ෂූන් මෙන් පිඬු සිඟා යන කල්හි ද, කමටහනින් යුත් සිතින් ම පා ඔසවමින් ඈ යුතු ය. ගම් දොර ළඟ දී වතුර උගුරක් ගෙන හෝ නූවමනා වචන නො කියනෙමි යි ඉටා ගෙන හෝ සතුරු භය, නොමැති වීථියකට පිඬු පිණිස යා යුතු ය. පිඬු සිඟා යන විට සීඝ්‍ර වේගයෙන් නො යා යුතු ය. විසම භූමි භාගයක ගෙන යන දිය පිරූ ගැලක් මෙන් සෙමින් සෙමින් යෑ යුතු ය. මෙසේ සිහියෙන් යුක්ත ව ඉන්ද්‍රිය සංවරයෙන් යෑම ම සැදැහැවතුන්ට ශ්‍රද්ධා ප්‍රසාදය එලවන ඉදිරියට යෑම, ආපසු හැරීම, ඉදිරිය බැලීම, සරස බැලීම, ශ්‍රද්ධා ප්‍රසාදය උපදවන - අතපය හැකිලීම්, දිගහැරීම් යැ යි වදාරන ලදී. පිඬු සිඟා ආපසු ඇවිත් කමටහන් මෙනෙහි කරමින් ම දන් වැලඳිය යුතු ය. ආහාරයෙහි පිළිකුල් සංඥාව උපදින සේ, කරත්ත රෝදයේ කර ඇණයට තෙල් දමන්නාක් මෙන්, වණයට බෙහෙත් ගල් වන්නාක් මෙන්, පුත්‍ර මාංසය බුදින්නාක් මෙන් “නෙව දවාය” යන ආදී වශයෙන් දක්වන ලද අනුසස් අට ප්‍රත්‍යවෙක්ෂා කිරීමට ද අටුවායෙහි දක්වන ලදී. එහෙත් විදර්ශනා වඩන යෝගියා විසින් දන් වැලඳීම ම විශේෂයෙන් ගරුකොට සම්පජාන කාරි විය යුතු ය. දන් වැළඳීමෙන් පසු ද උදක කෘත්‍යය කොට, මොහොතක් බත් මත සංසිඳවා ගෙන, දන් වළඳන්ට පෙර කමටහන මෙනෙහි කළ පරිදි මුළු දවසෙහි ද, පෙර යමෙහි ද, පසු, යමෙහි ද කමටහන් නො කඩවා වැඩිය යුතු ය. මෙසේ නො කඩවා කමටහන වඩන භික්ෂුව, යෑම්, ඊම් දෙක්හි දී ම කමටහන් ගෙන යන - එන බැවින් ගත පච්චාගත වත පුරණ භික්ෂුව ය යි කියනු ලැබේ.

මේ භික්ෂු තෙම ඉදින් රහත් වීමට උපනිශ්‍රය සම්පන්න වී නම් ප්‍රථම වයසේ දී ම රහත් වෙ යි. එසේ නො හැකි වුවහොත් මධ්‍යම වයසෙහි දී රහත් වන්නේ ය. එසේ ත් නොහැකි වුවහොත් පශ්චිම වයසෙහි දී එසේ ත් නොහැකි වුවහොත් මරණා සන්න කාලයෙහි දී රහත් වෙයි. එසේත් නොහැකි වුවහොත් දෙවෙනි භවයේ දී දිව්‍ය පුත්‍රයෙක් ව රහත් වෙයි. එසේ ද නොහැකි වුවහොත් අබුද්ධෝත්පාද කාලයෙක ඉපිද පසේ බුදු බව ලබයි. එසේ ද නොහැකි වුවහොත් මතු ලොවුතුරු බුදුවරයෙකු හමුවෙහි දී ඛිප්පාභිඤ්ඤ, මහාපඤ්ඤ, මහිද්ධික, ධුතඞ්ගධර, දිබ්බචක්ඛුක, විනයධර, ධම්ම කථික, ආරඤ්ඤික, බහුසුත, සික්ඛකාම යන ආදී ගුණ විශේෂයන් අතුරෙන් යම්කිසි ඒතදග්ගට්ඨානාන්තරයකින් යුක්ත ව අග්‍ර ශ්‍රාවක හෝ මහා ශ්‍රාවක රහතන් වහන්සේ කෙනෙකු විය හැකි ය.

රහත් බව, පසේ බුදුවබ, අග්‍රශ්‍රාවක හෝ මහා ශ්‍රාවක භාවය වනාහි එයට උපනිශ්‍රය සම්පත් ඇති කල්හි ම සිදුවන බව සැලකිය යුතු ය. මෙතන්හි පිඬු සිඟා යන ගමන යෑමේ දී පමණක් කමටහන් ගෙන ද යන පච්චාහරණ භික්ෂුව ද, නිත්‍ය සේනාසනයට ආපසු ඊමේ දී පමණක් කමටහන ගෙන එන පච්චාහරණ භික්ෂුව ද, යෑම් ඊම් දෙකේ දී ම කමටහනින් තොර ව යන එන නෙවහරණ නපච්චාහරණ භික්ෂුව ද, යෑම් ඊම් දෙකේදී ම කමටහනින් යුක්තව යන එන හරණ පච්හරණ භික්ෂුව ද යන මේ සිවු වැදෑරුම් භික්ෂූන් අතුරෙන් භරණ පච්චාහරණ හික්ෂුවට ම ගෝචර සම්පජඤ්ඤය සිඛා ප්‍රාප්ත (මස්තකප්‍රාප්ත) වන්නේ ය. එහෙයින් ගෝචර සම්පජඤ්ඤය සම්පාදනය කළ යුතු ය. මේ ගොචර සම්පජඤ්ඤය ශක්තිමත් වූ කල්හි අසමොහසම්පජන්දය ඉබේට ම වාගේ පහළ වන්නේ ය.

අසමොහසම්පජඤ්ඤ

අසමොහසම්පජඤ්ඤ ….. නුමුළා වී මේ ඤාණයයි. ඒ ඤාණය පහළ වන ආකාරය අටුවායෙහි එන අයුරින් මෙහි දක්වනු ලැබේ. “අභික්කමාදීසු පන අසම්මුය්හනං අසම්මොහසම්පජඤ්ඤං, තං එවං වෙදිතබ්බං, ඉධ භික්ඛු අභික්කමන්තො වා පටික්කමන්තො වා යථා අන්ධපුථුජ්ජනා අභික්කමාදීසු අත්තා අභික්කමති, අත්තනා අභික්කමො නිබ්බත්තිතොති වා අහං අභික්කමාමි, මයා අභික්කමො නිබ්බත්තිතොති වා සම්මුය්හන්ති, තථා අසම්මුය්හන්තො අභික්කමාමීති චිත්තෙ උප්පජ්ජමානෙ තෙනෙව චිත්තෙන සද්ධිං චිත්තසමුට්ඨානා වායොධාතු විඤ්ඤත්තිං ජනයමානා උප්පජ්ජති, ඉති චිත්තකිරියවායොධාතු විප්ඵාර වසෙන අයං කායසම්මතො අට්ඨි සඞ්ඝාටො අභික්කමති, තස්සෙවං අභික්කමතො එකෙකපාදුද්ධරණෙ පථවීධාතු ආපොධාතූති ද්වෙ ධාතුයො ඔමත්තා හොන්ති. මන්දා ඉතරා ද්වෙ අධිමත්තා හොන්ති බලවතියො. තථා අතිහරණවීතිහරණෙසු.”

ඉදිරියට යෑම් ආදියෙහි දී නොමුළාවීම අසම්මොහ සම්පජඤ්ඤ ය යි. එය මෙසේ දතයුතු යි: - මේ ශාසනයෙහි භාවනානුයෝගී තෙමේ ඉදිරියට යන්නේ හෝ ආපසු එන්නේ හෝ අන්ධ පෘථග්ජනයා මෙන් මුළා නොවන්නේ ය. කෙසේ ද යත්: සුතමය ඤාණ, චින්තාමය ඤාණ, භාවනාමය ඤාණයන්ගෙන් තොරව අන්ධ පෘථග්ජනයා වනාහි ආත්මය ඉදිරියට යෑම ආත්මය විසින් නිපදවන ලද්දේ ය යි කියා හෝ දෘෂ්ටි ග්‍රාහයෙන් තදින් ම වරදවා අල්වාගෙන මුළා වන්නේ ය. මම ඉදිරියට යමි. ඉදිරියට යෑම මා විසින් නිපදවන ලද්දේ ය යි කියා හෝ මාන ග්‍රහයෙන් තදින් ම වරදවා අල්වාගෙන මුළා වන්නේ ය. යෝගී පුද්ගලයා එසේ වූ දෘෂ්ටි - මාන ග්‍රහයන්ගෙන් තදින් අල්වා නො ගන්නා නිසා මුළා නො වන්නේ ය.

ඉදිරියට යන්ට ඕනෑ ය යි සිතක් උපදනා කල්හි ඒ චිත්තය සමග උපදින චිත්තජ වායෝ ධාතුව ශරීරය පුබුදු කරවා හරින - ශරීරය ඔසවන - සොලවන කාය විඤ්ඤත්ති නමැති චලන ශක්ති විශේෂය උපදවයි. මෙසේ සිතෙන් ඇති වන වායෝ ධාතුව ශරීරයෙහි පැතිර යෑම් වශයෙන් කාය සම්මත වූ මේ රූපය පුඤ්ජය ඉදිරියට ගමන් කරයි.

ඉදිරියට යන ඒ රූප පුජයාගේ ම එක් එක් පාදයක් එසවීමේ දී පඨවී - ආපෝ ධාතු දෙක පිළිබඳ ශක්තිය අඩු වෙයි. මඳවෙයි. ඉතිරි තෙජොවායා ධාතු දෙක පිළිබඳ ශක්තිය අධික වෙයි. බලවත් වෙයි. පය ඉදිරියට යැවීමය, එයිනුත් එහාට යැවීමය යන දෙතන්හි ද ඒ ධාතු සතරේ පැවැත්ම එසේමැ යි.

“වායෝධාතුයා අනුගතා තෙජොධාතු උද්ධරණස්ස පච්චයො. උද්ධරණ ගතිකා හි තෙජොධාතු” යි ටීකායෙහි කී පරිදි තෙජෝ ධාතුව සැහැල්ලු ගති ඇත්තී ය. මේ සැහැල්ලු ගතිය “මද්දවානුප්පාදන පච්චුපට්ඨාන” ය යි කියන ලදී. මොළොක් බව නිසාම සැහැල්ලු බව සිදු වේ. පාදය ආදී, ශරීරාගයන් එසවීම වායොධාතුව අනුව පවත්නා සියුම් තේජෝ ධාතුවේ ශක්තියෙන් සිදුවෙයි. එහෙයින් පය එසවීමේ දී පයේ සැහැල්ලු බව වැටහිම තෙජෝ ධාතුවේ “මද්දවානුපාදන පච්චුපට්ඨාන” ය යි.

“තෙජොධාතුයා අනුගතා වායොධාතු අතිහරණ වීතිගරණානං පච්චයා තිරියගතිකාය හි වායොධාතුයා අතිවරණ වීතීහරණෙසු සාතිකයො ඛ්‍යාපාරා” යි ටීකායෙහි කී පරිදි වායෝ ධාතුවේ ස්වභාවය හරහට යෑමය. පය එසවීම් ආදී අනික් අවස්ථාවලදී ද එහි ව්‍යාපාරය ඇති නමුත් පය ඉදිරියට ගෙන යන අතිහරණ - එයිනුත් ඉදිරියට ගෙන යන වීතිහරණ අවස්ථා දෙකෙහි වායෝ ධාතුවේ ව්‍යාපාරය ඉතා ප්‍රකට වෙයි. එය එසේ ම ය. පය ඔසවමින් පවත්නා විට එහි ඇතිවන ක්‍රියා විශේෂය වායෝ ධාතුවේ විස්ථාන ලක්ෂණ ය යි. විශේෂයෙන් ප්‍රකට ව පෙනෙන සෙලවෙන ගතිය වායෝ ධාතුවේ සමුදීරණ රස ය යි. ඉදිරියට තල්ලුවෙමින් පවත්නා ආකාරය වැටහෙන බව වායෝ ධාතුවේ අගිනීහාර පච්චුපට්ඨාන ය යි. ඒ නිසා පය එසවීම් - ඉදිරියට යෑම් ක්‍රියාවෝ තෙජෝ ධාතුවෙන් ලත් අනුබලය ඇති වායෝ ධාතුවෙන් සිදුවෙති. එහෙයින් පය ඔසවමින් පවත්නා විට - පය ඉදිරියට යමින් පවත්නා විට සිදුවන චලනය දැනීම වනාහි වායෝ ධාතුව විත්ථම්භන ලක්ෂණ ආදි වශයෙන් දැන ගැනීම යි. මෙහි දී පය එසවීම උද්ධරණ ය යි. පසෙන් තිබෙන පය ළඟට ගෙන ඊම අතිහරණ ය යි. ඉන් ඉදිරියට ගෙන යාම විතිහරණ ය යි.

“වොස්සජ්ජනෙ ……. තෙජොධාතු වායොධාතූති ද්වෙ ධාතුයො ඔමත්තා හොන්ති මන්දා, ඉතරා ද්වෙ අධිමත්තා හොන්ති බලවතියො, තථා සන්නික්ඛෙපනසන්නිරුම්භනෙසු. තත්ථ උද්ධරණෙ පවත්තා රූපාරූපධම්මා අතිහරණං න පාපුණන්ති, තථා අතිහරණෙ පවත්තා වීතිහරණං, වීතිහරණෙ පවත්තා වොස්සජ්ජනං, වොස්සජ්ජනෙ පවත්තා සන්නික්ඛෙපනං, සන්නික්ඛෙපනෙ පවත්තා සන්නිරුම්භනං න පාපුණන්ති. තත්ථ තත්ථෙව පබ්බං පබ්බං සන්ධි සන්ධි ඔධි ඔධි හුත්වා තත්ත කපාලෙ පක්ඛිත්ත තිලා නි විය තටතටායන්තා භිජ්ජන්ති.”

ඒ වොස්සජ්ජනයෙහි දී තෙජෝ වායෝධාතු දෙකේ ශක්තිය අඩුවීමෙන් දුර්වල වෙයි. ඉතිරි පඨවි ආපෝ ධාතු දෙකේ ශක්තිය අධිකවීමෙන් බලවත් වෙයි. සන්නික්ඛෙපන - සන්නිරුම්භන යන දෙතන්හි ද එසේ ම පඨවි ආපොධාතු දෙකේ ශක්තිය බලවත් වෙයි. එහි එසවීමේ ශක්තිය ඉවත්කර පය පහත් කිරීම වොසජ්ජන ය යි. පය බිම තැබීම සන්නික්ඛේපන ය යි. පය බිමට තද කිරීම සන්නිම්භන ය යි.

“පඨවිධාතුයා අනුගතා ආපොධාතු වොසජ්ජනස්ස පච්චයො, ගරුතර භාවා හි ආපොධාතු” යනුවෙන් ටීකාවෙහි කී පරිදි ආපොධාතුව බර ගතියෙන් යුක්ත වූ පඨවිධාතුවට වඩා වැඩි බර ගතියෙන් යුක්ත වේ. එහෙයින් ම එය වැගිරෙන - පග්ඝරණ ලක්ෂණයෙන්ද යුක්ත වෙයි. ගමන් වේගය නවත්වා සිටීමේ දී ඒ සිටීම පයේ බර ගතිය අනුව යමින් අනුබල දෙන පඨවි ධාතුව සමග පවත්නා ආපෝ ධාතුවෙන් සිදුවෙයි. ආපොධාතු වේගය බර නිසා වැගිරෙන බව දැනගත හැකිවීම පග්ඝරණ ලක්ෂණයාගේ වශයෙන් ආපෝ ධාතුව දැන ගැනීම ය.

“ආපොධාතුයා අනුගතා පථවීධාතු සන්නික්ඛෙපනස්ස පච්චයො, පතිට්ඨාභාවෙ විය පතිට්ඨාපනෙ පි තස්සා සාතිසයකිච්චත්තා, ආපො ධාතුයා තස්සා අනුගතභාවො, තථා ඝට්ටනකිරියාය පථවීධාතුයා වසෙන සන්නිරුම්භනස්ස සිජ්ඣනතො. තත්ථාපි පථවීධාතුයා ආපො ධාතු අනුගතභාවො” යන මේ ටීකා පාඨය අනුව පය බිම තබමින් පවත්නා කල්හි පිහිටා පැවැත්ම ප‍්‍රකට වෙයි. “පතිට්ඨානරසා” යි කී බැවින් පිහිටීම් කෘත්‍යයගේ වශයෙන් ප්‍රකටවන සුලු වූ පඨවි ධාතුව පිහිටුවීමෙහි අධික වූ කෘත්‍යය ඇති බැවින් ඒ පිහිටු වීම් කෘත්‍යය පඨවි ධාතුව ගේ ශක්ති විශේෂ ය යි. එහෙයින් පය බිම තැබීම - පිහිටුවීම එයට අනුව පවත්නා ආපෝ ධාතුව හා එක්ව පැවති පඨවි ධාතුවෙන් සිදු වෙයි. බිම පාගමින් පවත්නා කල්හි ඒ පෑගීම් ක්‍රියාව ද තද ගතිය ඇති පඨවී ධාතුවෙන් ම සිදු වෙයි. එහෙයින් පය බිම තබමින් පවත්නා කල්හි - එය බිමට තද කරමින් පවත්නා කල්හි පය පිහිටුවිම හා බිම හැපෙන බව දැන ගැනීම කක්ඛල ලක්ඛණ ආදී වශයෙන් පඨවි ධාතුව දැන ගැනීම ය.

මෙහි සැඟවී පවත්නා තත්වය මෙසේ ය:- අත පය ආදිය ක්‍රියා කරවීමේ දී සැහැල්ලු ගතිය දැනේ නම්, එය තෙජෝ ධාතුව ය යි සැලකිය යුතු ය. එහාට මෙහාට සෙලවෙන ගතිය දැනේ නම් එය වායො ධාතුව ය යි ද, පහළට බරවන ගතිය දන්නේ නම් එය ආපෝ ධාතුව ය යි ද, තද ගතිය හෝ හැපෙන ගතිය දැනේ නම් එය පඨවි ධාතුව ය යි ද, සැලකිය යුතු ය. මේ නය ක්‍රමයෙන් පය එසවීමක් ඇතුළත – අතපය හැකිලීමක්, දිග හැරීමක් ඇතුළත ම පෘථිවි ආදී පරමාර්ථ ධාතු සතර පිරිසිඳ දැන ගැනීම සම්පූර්ණ වන බව සැලකිය යුතු යි.

එහි පය ඉසීමේ දී නොකඩවා පවත්නා ඔසවනු කැමති සිත හා සමග ඔසවන රූපධර්ම සමූහය අතිවරණ (ගෙනයන) අවස්ථාවට නො පැමිණෙ යි. “රූපාරූපධම්මාති උද්ධරණාකාරෙන පවත්තා රූපධම්මා. තං සමුට්ඨාපකා අරූප ධම්මා ච” යි ටීකායෙහි කියන ලදී. මෙතන්හි සලකා බලන නාම ධර්‍ම ද සලකා බැලීමේ අරමුණු වශයෙන් ගතයුතු ය. මෙහි දී වරදක් ඇති විය හැකි ය. එනම්, ඒ සලකා බැලීම හෝ මෙනෙහි කිරීම එකෙණෙහි ම නිරුද්ධ වන බව - නැතිව යන බව නො වැටහුන හොත් තනි පුද්ගලයෙක් වූ මම ම සිතමින් - සලකා බලමින් නිතර ඉන්නා සත්වයෙකැ යි නිත්‍ය සංඥාව හෝ ආත්ම සංඥාව ඇතිවිය හැකි ය. ඇත්ත වශයෙන් කියතහොත් සලකා බලන මෙනෙහි කරන මොහොතක් පාසා ඒ සලකා බැලීම් - මෙනෙහි කිරීම් ක්‍රියා සියල්ල නිරුඩව - නැතිව යන ආකාරය යෝගී පුද්ගලයා උදයබ්බය ඤාණයේ පටන් පැහැදිලිව දැන වටහා ගන්නේ ය. භංගඤාණයෙහි පටන් විශේෂයෙන් ප්‍රකට කොට දැන වටහා ගන්නේ ය. එහෙයින් එය සලකා බලන නාමය ද අරමුණු කළ යුතු ය. මෙය සම්මසන ඤාණයෙහි දී ගත් නිසා මෙහි නොකියන ලදී.

උද්ධරණයෙහි දී පැවති නාම රූප ධර්‍ම අතිවරණ අවස්ථාවට නො පැමිණෙති. අතිවරණයෙහි දී පැවති නාම රූප ධර්ම වීතිහරණ අවස්ථාවට නොපැමිණෙති. වීතිහරණයෙහි දී පවැති නාම රූප ධර්ම වොස්සජ්ජන විදිනා අවස්ථාවට නොපැමිණෙති. වොස්සජනයෙහි දී පැවති නාම රූප ධර්ම සන්නිඛෙපන අවස්ථාවට නොපැමිණෙති. සන්නිඛෙපනයෙහි දී පැවති නාම රූප ධර්ම සන්නිරුන අවස්ථාවට නොපැමිණෙති.

පය එසවීම ආදී ඒ ඒ ක්ෂණයෙහි දී ම සියලු නාම රූප ධම් පුරුක් පුරුක් වශයෙන් - සන්ධි සන්ධි වශයෙන් - වෙන් වෙන් වශයෙන් - කොටස් කොටස් වශයෙන් - කැබලි කැබලි වශයෙන් රත් වූ කබලක දමු තලමිටක් පට පට යන අනුකරණයෙන් පුපුර පුපුරා නැතිව යන්නාක් මෙන් ඒ ඒ නාම රූප ධම් ඒ ඒ උපන් උපන් තැනදී ම සිඳී සිඳී බිඳී බිඳී නැති ව යන්නාහු ය. .

“තත්ථ කො එකො අභික්කමති, කස්ස වා එකස්ස අභික්කමනං, පරමත්ථතො හි ධාතූනං යෙව ගමනං, ධාතූනං ඨානං, ධාතූනං නිස්සජ්ජා, ධාතූනං සයනං”

එසේ වහා කැඩි කැඩී - බිඳී බිඳී - යන්නා වූ නාම රූප සමූහයෙහි ඉදිරියට යන්නේ කවරෙක් ද? එසේ ඉදිරියට යනෙක් නැතේ ම ය. (මෙහි ද කිං ශබ්දය ප්‍රතික්ෂෙපාර්ථවාචී වෙයි) මෙය කිනම් පුද්ගලයෙකු ගේ ඉදිරියට යාමක් ද? අසවලාගේ ඉදිරියට යාමක් ය කියා දැක්විය යුත්තෙක් මෙහි නොමැත්තේ ය. මෙහි දී පරමාර්ථ වශයෙන් දතයුතු විද්‍යාමාන ස්වභාවය නම්, සත්වයෙක් - පුද්ගලයෙක් නො වන - නාම රූප ධාතු ස්වභාවයක් ම ඇති බව ය. මෙහි ඇත්තේ නාම රූප ධාතු ස්වභාවයගේ ම යෑමය, සිටීම ය, ඉඳීම ය, හොවීම ය, යන මේ ක්‍රියා මාත්‍රයෙකි. (නාම ධර්මයෝ ද ඒ ඒ මොහොතේ දී ම නිරුද්ධ වෙති. නැති වි යති. යන එන සත්වයෙක් නොමැත්තේ ය.)

“තස්මිං තස්මිඤ්හි කොට්ඨාසෙ සන්ධි රූපෙන

අඤ්ඤං උප්පජ්ජතෙ චිත්තං

අඤ්ඤං චිත්තං නිරුජ්ඣති,

අවීචිමනු සම්බයො

නදී සොරොව වත්තති.

එවං අභික්මාදීසු අසම්මුය්හනං අස්ම්මොහ සම්පජඤ්ඤං”

යෑම් ඊම් ආදී ඒ ඒ කොටසෙහි දී ම ගමන් කිරීම ආදී වශයෙන් ඇතිවන රූපය හා සමග යනු කැමති සිත ය. ‘යනවා’ ය යි මෙනෙහි කරන සිත ය යන ආදි වශයෙන් අනික් පරණ සිතක් ඇති ව නිරුද්ධ (නැති) වෙයි. නිරුද්ධ වූ සිත අනිකකි. නැවත වෙන අලුත් සිතක් උපදී. ඒ උපන් සිත ද අනිකකි. මෙකී පෙර පසු චිත්ත පරම්පරාව අතර නොකැඩී - නොසිඳී පවත්නා බව වටහා ගත යුතු ය. වේගයෙන් ගංගාවේ ගලා බසින දිය පාර අතර නොසිදී ගලා බසින්නාක් මෙන් වැටහෙන සේ දැන ගත යුතු ය. මෙසේ මේ කියන ලද නයින් අභික්කමන (ඉදිරියට යෑම්) ආදියෙහි දී මුළා නොවී ශරීරය ගැන ඇති සැටියෙන් දැන ගැනීම “අසමොහසම්පජඤ්ඤ ය” යි.

මෙහි දී දතයුතු කෙටි අදහස නම්, ආපස්සට - පෙරලා ඊමක් පාසා අනුදිසාවන් බැලීමක් පාසා තමාගේ ශරීරය චලනය වීමක් පාසා ඒ හැම ක්‍රියාවක් ම අත්නොහැර අරමුණු කර සිහිනුවණින් දැනගෙන කිරීම ගොචර සම්පජඤ්ඤය යි. මේ ගෝචර සම්පජඤ්ඤය බලවත් වූ කල්හි සම්මසන ඤාණය පහළ වෙයි. එතැන් පටන් හමුවන හැම අරමුණක් ම ඇසට පෙනෙන්නාක් මෙන් මුළා නොවී දත හැකි වන්නේ ය. යන විට “යනවා යනවා” යන ආදිය මෙනෙහි කරමින් සිටියදී ම “යනවා” ය යි මෙනෙහි කරන සිත ඇති ව නැතිවන බව ද ප්‍රත්‍යක්ෂව වැටහෙන්නේ ය. ඒ සිත නිසා පය නැඟීම්, සෙලවීම් ආදිය පිළිවෙලින් පහළවන බව ද ප්‍රත්‍යක්ෂව දත හැකි ය. මෙසේ චලනය වන ආකාරයෙන් මුලු සිරුරෙහි හටගන්නා රූප සමූහය ක්‍රම ක්‍රමයෙන් ඇති ව නැති වන බව ද ප්‍රත්‍ය වශයෙන් පැහැදිලි ව දත හැකි වෙයි. පය හෝ කය ඔසවන විට ද ‘ඔසවනවා ඔසවනවා’ ය යි මෙනෙහි කරද්දී ම ඔසවනු කැමති සිත ය, එසවීම ය, එය දැනීම ය, යන මේ ආදී නාම රූප සියල්ල එසවීම් ආදී අවස්ථා වලට නො පැමිණ ම ඒ ඒ මොහොතේ දී ම කොටස් කොටස් වශයෙන් කැඩි කැඩී බිඳී බිඳී යන බව වැටහෙන්නේ ය. එහෙයින් යෝගී පුද්ගලයා හට ඒ මොහොතේ දී ම ඇසට පෙනෙන්නාක් මෙන් ඒ නාම රූපයන් පිළිබඳ විශේෂ දැනුමක් ඇති වන්නේ ය. දැනීම උපදින ආකාරය නම්, යෑම් ඊම් ආදිය සිදු කරන සත්වයෙක් හෝ ආත්මයෙක්- “මම” ය යි කිව යුත්තෙක් නොමැත්තේ ය. ක්ෂණයක් පාසා ඇති ව නැති ව යන නාම රූප ස්වභාව මාත්‍රයක් ම ඇත. එය අනිත්‍ය ස්වභාවයක් ම ය, දුකක් ම ය. යනු කැමැත්ත හා යෑම ද සවභාව ධර්මයගේ ආකර මාත්‍රයක්ය ම ය යි මෙසේ මුළා නො වී ඤාණයෙන් ප්‍රකට කොට දත හැකි ය. මේ ඤාණය අසම්මොහසම්පජඤ්ඤ ය යි. මෙය වනාහි ගොචර සම්පජඤ්ඤයෙන් තොර ව නො ලැබිය හැකි ය.

ඒ ගොචර සම්පජඤ්ඤය ද කමටහන් අරමුණ මෙනෙහි කිරීමෙන් ම පහළ වන්නේ ය. ඒ නිසා යෝගී පුද්ගලයා විසින් අසමෝහ සම්පජඤ්ඤය උපදවා ගනු පිණිස කමටහන් මෙනෙහි කිරීම ය යි කියන ලද ගොචර සම්පජඤ්ඤය ම නොකඩවා වැඩිය යුතු යි.

ඉතිරි පද විස්තරය

පාලි

ආලෝකිතෙ විලෝකිතෙ සම්පජානකාරී හොති.

කෙටි අදහස

ඉදිරිය බලන කල්හි ද අනුදිසාවන් බලන කල්හි ද සම්පජානකාරී (නුවණින් දැන දැන බලන්නේ) වෙයි.

එහි විස්තරය:

මෙහි දැක්වෙන පරිදි ඉදිරිපස කෙලින් බැලීම හා සරස බැලීම ද යන දෙවිධිය ම සිහි නුවණින් බලන යෝගි පුද්ගලයාහට සුදුසු බැවින් එය ඍජුව ම දක්වන ලදී. යට බැලීම හා උඩ බැලීම ද පසුපස බැලීම ද ඔහුට නුසුදුසු බැවින් නොදක්වන ලදී. එහෙත් එසේ බැලිය යුතු අවස්ථාවක් ඇති වුවහොත් එය ද සිහි නුවණින් ම බැලිය යුතු ය. එහෙයින් බැලීමක් බැලීමක් පාසා දැකීමක් දැකීමක් පාසා දකිනු කැමති සිත අත් නොහැර දකින්ට ඕනෑය යන ඒ සිත ද පළමුවෙන් මෙනෙහි කළ යුතු ය. ඉක්බිති “දකිනවා දකිනවා බලනවා බලනවා” යන ආදී වශයෙන් නොකඩවා මෙනෙහි කළ යුතුය. මෙසේ සලකා බැලීම මෙනෙහි කිරීම ගොචර සම්පජඤ්ඤ ය යි.

අටුවායෙහි දැක්වෙන පරිදි සමථ යෝගියා විසින් ද තමාගේ සමථ කර්මස්ථානය ගරුකොට මෙනෙහි කළ යුතු ය. කාක්කා ආහාරය දෙස බලන කල්හි සතුරා දෙස ද බලන්නාක් මෙනි. සමථ යෝගී පුද්ගලයා ද අවශයෙන් බැලිය යුත්තක් දෙස බලන නමුත් තමාගේ සමථ කමටහන් අරමුණ අත් නොහැර ම බැලිය යුතු ය.

ස්කන්ධ - ධාතු - ආයතනයන් අරමුණු කොට මෙනෙහි කරන විපස්සනා යෝගී පුද්ගලයා වනාහි තමා විසින් නිතර මෙනෙහි කරන විපස්සනා අරමුණක්ම අත් නො හැර මෙනෙහි කළ යුතු ය යි කියන ලදී. එය එසේමැ යි. දකිනු කැමැත්ත හා දැකීම යන ආදිය ද විදර්ශනාවේ අරමුණු ම ය. එබැවින් දකිනු කැමති සිත ය යි කියන ලද අරමුණ මෙනෙහි කොට දතහැකි වුවහොත් නාම ස්කන්ධ සතරය - නාම ආයතන දෙකය - නාම ධාතු දෙකය යන මොවුන් දැනගත හැකි විපස්සනා ඤාණය පහළ වන්නේ ය. ඒ දකිනු කැමති සිතින් හටගත් ඇස දැල්වීම (විවෘත කිරීම) ඇස කර කැවීම, ඔලුව හා මුහුණ දර්ශන ක්‍රියාවට යොමු කරවීම යන ආදිය සලකා බැලීමෙන් ද, රූප ස්කන්ධය හා රූප ආයතන රූප ධාතූන් දැන ගන්නා විදර්ශනා ඥානය පහළ වෙයි. ඒ පිළිබඳ දැකීම් ආදිය සලකා බැලීමෙන් ද, ස්කන්ධ පඤ්චකය සහ ආයතන සතරය ධාතු සතරය යන මෙකී ස්වකීය ධර්මයන් දැන ගන්නා විදර්ශනා ඥානය පහළ වෙයි. අතර නොකඩවා මෙනෙහි කළහොත් ඒ මෙනෙහි කිරීම සිදුකරන නාම ස්කන්ධයන් හා ආයතන - ධාතූන් දැන ගන්නා විදර්ශනා ඥානය පහළ වන්නේ ම ය. ඒ නිසා දකිනු කැමති සිත හා එහි අරමුණත් අත් නොහැර මෙනෙහි කරන යෝගී පුද්ගලයා හට ගොචර සම්පජඤ්ඤය දියුණු වී ශක්තිමත් වූ කල්හි, දකිනු කැමති සිත නිසා ඇස හා මුහුණ දැකීම පිණිස පිළියෙල කරන ආකාරයෙන් සිදුවන, චලනය වීම් - එහා මෙහා වීම් - දැකීම් - බැලීම් හා මෙනෙහි කිරීම් සියල්ල වෙන් වෙන්ව ඇතිව නැතිව යන බව සහ දකිනු කැමැත්ත ය, දැකීම සඳහා ඇස හා මුහුණ යෙදවීම ය, යන ආදිය සිදුකරන ආත්මයක් හෝ මම ය යි කියනුතෙක් නොමැත්තේ ය යි මුළා නො වී පැහැදිලිව දැනගන්නා අසමාහ සම්පජඤ්ඤය ඉෂ්ට ම වාගේ පහළ වන්නේ ය.

පාලි

සම්ම්ඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති

කෙටි අදහස

දිගු කළ අත් පා හැකිලීමෙහි ද, හැකිලු අත් පා දිග හැරීමෙහි ද, නුවණින් දැන දැන කරන්නේ වෙයි.

එහි විස්තර:

අත පය හැකිලීමේ දී “හකුලනවා, හකුලනවා” ය යි මෙනෙහි කළ යුතු ය. දිග හැරීමේ දී “දිගහරිනවා, දිග හරිනවා” ය යි මෙනෙහි කළ යුතු ය. එසේ ම අතපය ආදිය ගසා දැමීම, යමක් තල්ලු කිරීම, යමක් තමා දෙසට ඇදීම, සෙලවීම, එසවීම, පහත් කිරීම, ආදි හැම ක්‍රියාවක දී ම, “ගසා දමනවා, ගසා දමනවා” “තල්ලු කරනවා, තල්ලු කරනවා” යන මේ ආදී වශයෙන් ඒ ඒ හැම ක්‍රියාවක් ම - හැම අවස්ථාවක් පාසා ම, මෙනෙහි කළ යුතු ය. හැකිලීම් ආදිය සිදු කරන සිත සහ හැකිලීම් - දිගහැරීම් ආදී ආකාරයෙන් පවත්නා වායෝ ධාතුව ප්‍රධාන කොට ඇති රූපය ද ප්‍රකට වන්නේ ය. මෙසේ හැකිලීම හා දිග හැරීම අරමුණු කොට ඇතිවන දැනීම ගොචර සම්පජඤ්ඤ ය යි.

එය අටුවායෙහි එන මහාස්ථවිර වස්තුවෙන් මෙසේ දතයුතු යි:

එක්තරා මහාස්ථවිර ස්වාමීන් වහන්සේ කෙනෙක් එක් දිනෙක දවල් කාලයෙහි අතවැසි භික්ෂූන් හා පිළිසඳර කථාවක යෙදී සිටින කල්හි තමන් වහන්සේගේ දිග හැරී තිබුන අත වහා ම හකුලාගෙන නැවත පළමු තුබුන තැන ම තබා සෙමින් සෙමින් හකුලා ගත් සේක. එය දුටු අතවැසි භික්ෂුහු “ස්වාමීනි! නුඹ වහන්සේ එක් වරක් ඉක්මනින් අත හකුලාගෙන නැවත පළමු තුබුන තැන ම තබා ආපසු සෙමින් සෙමින් අකුලා ගත්තහු ය. එසේ කර වදාළේ කුමක් නිසාද? “යි විචාළාහු ය. එවිට උන්වහන්සේ “ඇවැත්නි! මම යම් දිනෙක සිට කමටහන් වඩන්ට පටන් ගත්තෙම් නම්, එදා සිට මේවන තෙක් කවරදාකවත් මට කර්ම ස්ථානයෙන් තොරව අත හැකිලීමේ හෝ දිග හැරීමේ පුරුද්දක් තිබුණේ නැත. එහෙත් අද මේ මොහොතේ තොප හා පිළිසඳර කථා කරමින් සිටියදී, සිහි මුළාවීම නිසා කමටහනින් තොරව ම අත හකුලා ගතිමි. ඒ බව පසුව මතක් වීමෙන් අත තිබුණ තැන ම තබා, නැවත සිහි නුවණින් යුක්තව ම ආපසු හකුලා ගත්තෙමැ”යි කීහ. එවිට අතවැසි භික්ෂූහු “සාධු! සාධු!! ස්වාමීනි, නියම භික්ෂුව විසින් පිළිපැදිය යුත්තේ ඒ ආකාරයෙන් ම ය”යි උන්වහන්සේට ප්‍රශංසා කළහ. මෙසේ කමටහන් අත් නොහැර මෙනෙහි කිරීම ම ගොචර සම්පජඤ්ඤ ය යි.

මේ මහා ස්ථවිර ස්වාමීන් වහන්සේ මෙන් අතපහ හැකිලීමක් දිග හැරීමක් පාසා කමටහන අත් නොහැර “හකුලනවා, දිග හරිනවා” ය යි මෙනෙහි කිරීමෙන් එසේ කරනු කැමති සිත සහ නමන - දිග හරින, ආකාරයෙන් චලනය වෙමින් ඇතිවන රූප කොටස් දැන ගැනීම ගොචර සම්පජඤ්ඤ ය යි. ඒ සම්පජඤ්ඤය දියුණු වූ කල්හි ශරීරය තුළ හැකිලීම දිග හැරීම සිදු කරන ආත්මයක් නැති බව හා, නමනු කැමති - දිග හරිනු කැමති සිත නිසා හට ගන්නා වූ, රූප කොටස් පමණක් ඇත්තේ ය. නමනු කැමති - දිග හරිනු කැමති, සිත නැවීම් - දිග හැරීම් අවස්ථාවට නො පැමිණ ම නිරුද්ධ (නැති) වෙයි. එසේ ම නැමෙන අවස්ථාවෙහි පැවති රූප කොටස ද, දිග හරින අවස්ථාවට නොපැමිණ ම, නිරුද්ධ (නැති) වෙයි. ඒ සියල්ල අනිත්‍ය ය, දුක් ය, අසුභ ය, අනාත්ම ය යි කියා, තමාට ම විනිශ්චය කරගත හැකි ඤාණය පහළ වන්නේ ය. එය අසම්මෝහ සම්පජඤ්ඤ ය යි.

“නමනවා, දිග හරිනවා” ය යි මෙනෙහි කරන විට නාම ප්‍රඥප්තිය හා සමග නමන දිග හරින අත පය යන මේ සණ්ඨාන (සටහන්) ප්‍රඥප්තිය දැන ගැනීම සිදු නොවන්නේ ද යත්? භාවනාව අරඹන මුල් කාලයෙහි දී නාම ප්‍රඥප්තිය හා සන්ධාන ප්‍රඥප්තිය ද මෙනෙහි විය හැකි ය. චලනය වන ඡායා රූපයන් දත හැකි ය. මෙසේ ප්‍රඥප්තිය හා මිශ්‍ර වූ දැනීමක් ඇති වෙයි. එහෙත් සිහිය හා සමාධි ඤාණයත් මෝරවා ගත් විට, එකී ප්‍රඥප්ති මෙනෙහි නොවීමෙන් හෝ, අමතක වීමෙන් හැකිලීම් දිග හැරීම් අරමුණු කරන සිත් සහ, රූපය පිළිබඳ චලන ක්‍රියා සන්තති එකක් එකක් පාසා ඇතිව නැතිවන ආකාරය ම දැන ගනිමින් විපස්සනා ඤාණය පැහැදිලිව දියුණු වන්නේ ය.

පාලි

සඞ්ඝාටි පත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති

කෙටි අදහස

දෙපටය, තනිපටය, අඳනය යන සිවුරු ඇඳීල්ලෙහි - පෙරවීමෙහි - දැරීමෙහි දී හා පාත්‍රය දැරීමෙහි දී ද දැන කරන්නේ වෙයි.

එහි විස්තරය:

සිවුරු හඳින - පොරවන කල්හි “හඳිනවා, පොරවනවා” යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතු ය. කෝප්ප හැන්ද ආදී උපකරණයන් අතුරෙන් යම්කිසිවක් අතින් අල්ලා පරිහරණය කරත හොත් හැපෙනවා, අල්ලනවා, ගන්නවා, තබනවා”

යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතු ය. මෙසේ මෙනෙහි කිරීමෙන් ඤාණය දියුණු වූ විට හැඳීම්, පෙරවීම්, ඇල්ලීම්, ගැටීම් ආදිය සිදු කරනු කැමති සිත සහ ඒ සිත නිසා චලනය වන ආකාරයෙන් හටගන්නා වායො රූපයන් ද, ඵොට්ඨබ්බය වූ හැපීම අරමුණු කරන කාය විඤ්ඤාණ ආදිය ද, ප්‍රධාන වශයෙන් ප්‍රකට ව දත හැකි ය. මෙසේ මෙනෙහි කිරීම භික්ෂුවට පමණක් නො ව භාවනා කරන ගිහි පක්ෂයටත් අයත් වූවකි. හැඟීම්, පෙරවීම්, ආහාර ගැනීම්, භාජන ආදිය අතින් ඇල්ලීම් ආදිය කරන විට “හැපෙනවා , අල්ලනවා” යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතු ය.

පාලි

අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති.

කෙටි අදහස

බත් ආදී බොජුන් වැළඳීමෙහි ද කැඳ ආදිය පානය කිරීමෙහි ද කැවුම් ආදිය විකා කෑමෙහි ද පැණි ආදියෙහි රස විඳීමෙහි ද දැන දැන කරන්නේ වෙයි.

එහි විස්තරය:

ආහාර අනුභව කිරීම ය, පානය කිරීම ය, විකා කෑම ය, රස ලෙව කෑම ය, ආහාර ගිලීම ය යන ආදිය ද මෙනෙහි කළ යුතු ය. මෙසේ සිහි නුවණින් මෙනෙහි කිරීමෙන්, ඤාණය මුහුකුරා ගිය කල්හි අනුභව කරනු කැමති සිත සහ අනුභව කිරීම් ආදී ආකාරයෙන් චලනය වන වායෝ රූපයන් ද, රස අරමුණ ද, රස විඳින ජීව්හා විඤ්ඤාණ ආදිය ද ප්‍රධාන වශයෙන් ප්‍රකටව දැනගත හැකි වන්නේ ය.

ඇතැමෙක් වනාහි අසම්මොහ සම්පජඤ්ඤය උපදනා ආකාරය දැක් වූ අටුවා නය මෙනෙහි කිරීමේ දී විදර්ශනාව හටගන්නේ ය යි කියති. ඒ කියමන ආහාරපටික්කුල සංඥාවෙන් අසම්මොහ සම්පජඤ්ඤය උපදනා ආකාරය දක්වන අටුවා කථාව හා සසඳා බැලිය යුතු ය.

ආහාරය සෙවීම සඳහා ගමන් කිරීම ය, ආහාරය සොයා (ලබා) ගැනීම ය, එය අනුභව කිරීම ය, උගුරෙන් පහලට ගිය ආහාරය පිත, සෙම, සැරව, ලේ යන මේ පිළිකුල් දැය පිහිටි ස්ථානයට පැමිණ, ඒ පිළිකුල් දැය හා මිශ්‍ර වීම ය, යන ආදී දශ ආකාරයකින් ආහාරයෙහි පිළිකුල් බව ප්‍රත්‍යවේක්ෂ කිරීම සමථ අසමොහ සම්පජඤ්ඤය යි.

නොහොත් අනුභව කිරීමක් පාසා “අනුභව කරනවා, සපනවා, ගිලිනවා” යන ආදී වශයෙන් මෙනෙහි කරන, ගොචර සම්පජඤ්ඤ ඤාණය මුහුකුරා යෑමෙන්, ඒ ආහාරය පිළිබඳ ආශාව දුරුවීම නිසා, ආහාරය පිළිකුල් දෙයක් බව ඇති සැටියෙන් දැනගත හැකි වෙයි. මෙසේ මෙනෙහි කර ඤාණය මෝරවා ගත් ඇතැමෙක් හට කනු බොනු පිණිස ආහාරය පිළියෙල කිරීමෙහි දී පටන් මෙනෙහි කරමින් කන බොන කල්හි ම, ඒ ආහාරය පිළිකුල් වස්තුවක් ය යි වැටහෙන්නේ ය. අනුභවය ද මහත් කරදරයක් ලෙස වැටහෙන්නේ ය. එවිට ඒ තැනැත්තා අනුභව කිරීම නවත්වා කමටහන් මෙනෙහි කරමින් ම ඉඳින්නේ ය. භාවනාව නොදියුණු වුවත් ඇතැමෙක් හට මෙනෙහි කරමින් සිටිද්දී ම, ආහාරය පිළිකුල් වශයෙන් වැටහෙන්නේ ය. ඒ නිසා කෑමට නොකැමැත්තක් ද ඇති වෙයි. මෙවැනි අවස්ථාවෙහි ආහාරය අසුචියක් සේ සිතන විට වමනය කරන තරම් පිළිකුල් වීම සම්පජඤ්ඤය නොව දෝමනස්සය ම ය යි සැලකිය යුතු ය. ගෝචර සම්පජඤ්ඤය තියුණු වූ කල්හි ඉබේට ම වාගේ ආහාරපටිකූල සඤ්ඤාව පහළ විය හැකි බැවින් එය ද අසම්මොහ සම්පජඤ්ඤ යෙහි ඇතුළත් වන බව අටුවා මතයෙන් පැහැදිළි වෙයි.

පාලි

උච්චාරපස්සාවකම්මේ සම්පජානකාරී හොති.

කෙටි අදහස

මල මුත්‍ර පහ කීරීමෙහි දී දැන දැන කරන්නේ වෙයි.

විස්තරය :

මල මුත්‍ර පහ කරන විට “පහ කරනවා, පහ කරනවා” යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතු ය. විදර්ශනාව වනාහි අරමුණේ උසස් බව හෝ පහත් බව හෝ නොසලකා වැඩිය යුතු භාවනාවකි. මෙසේ මෙනෙහි කිරීමෙන් ඤාණය තියුණු වූ කල්හි පහ කරනු කැමති සිත සහ පහ කිරීම් වශයෙන් පවත්නා රූප කලාප ද, පහ කිරීම පිළිබඳ ඝට්ටනය දැනෙන කාය විඤ්ඤාණය ද, ඒ පිළිබඳ දුක්ඛ වේදනාව ද, ප්‍රධාන කොටස් වශයෙන් ප්‍රකට කොට දත හැකි වෙයි.

පාලි

ගතෙ ඨිතේ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ තුණ්හි භාවෙ සම්පජානකාරී හොති.

කෙටි අදහස

යෑමෙහි ද, සිටීමෙහි ද, ඉඳීමෙහි ද, හොවීමෙහි ද, නොනිදා සිටීමෙහි ද, වචන කීමෙහි ද, වචන නොකියා නිසොල්මන්ව සිටීමෙහි ද නුවණින් දැන දැන කරන්නේ වෙයි.

එහි විස්තරය :

යෑම, සිටීම, ඉඳීම, නො නිදීම, කීම, තුෂ්ණීම්භූතව සිටීම යන මෙයින් යෑම, සිටීම, ඉඳීම පෙර කී සේ ම ය.

නිදිමත ඇති වුවහොත් “නිදිමතයි, නිදිබරයි, නිදා වැටෙනවා” යන මේ ආදී වශයෙන් ප්‍රකටව පවත්නා නාම රූප සියල්ලක් ම සිහි කළ යුතු ය. මෙනෙහි කළ යුතු ය. තද නිදිමත ඇති වූ කල්හි ඇඟපත දිග හැර “නිදියනවා, බුදියනවා, නිදාගන්නවා” යන ආදී වශයෙන් ප්‍රකටව පවත්නා නාම රූප ධර්මයන් මෙනෙහි කළ යුතු ය. මනස්කාරය අත් නොහළ යුතු ය. සිහිය ඇති තාක් මෙනෙහි කරමින් ම නිදාගත යුතු ය. අවදි වන විට ද පළමුවෙන් උපදින සිත අරමුණු කර මෙනෙහි කළ යුතු ය.

භාවනාව පටන් ගන්නා ආදි කම්මික යොගාවචරයා හට වනාහි මේ සිත මෙනෙහි කිරීම දුෂ්කර විය හැකි ය. එසේ වුවහොත් සිහි කළ හැකි අවස්ථාව එළඹෙන තෙක් එය නවත්වා සිහි කළ හැකි අවස්ථාව පැමිණි තැන සිට නොකඩවා සිහි කළ යුතු ය. ඥාණය තියුණු වූ කල්හි අවදි වීමත් සමග එක්වරට ම මෙනෙහි කළ හැකි වෙනවා ඇත.

එකල්හි නිදීමට පෙර ඇති වූ නාම රූපයෝ නිදන අවස්ථාවට නොපැමිණ ම නිරුද්ධ වූහ. නිදා ගැනීමේ දී පැවති නාම රූපයෝ නින්දෙන් පිබිදෙන අවදි වන අවස්ථාවට නොපැමිණ ම නිරුද්ධ වූහ.

නිදා ගැනීම ය යි කියනු ලබන්නේ දැකීම, ඇසීම, කල්පනා කිරීම, මෙනෙහි කිරීම යන ආදිය සිදු නොකළ හැකි භවාඞ්ග චිත්ත සන්තතිය ඇති වෙමින් පැවැත්ම ය.

පිබිදීම හෝ අවදිවීම ය යි කියනු ලබන්නේ දැකීම, ඇසීම, කල්පනා කිරීම, මෙනෙහි කිරීම යන ආදිය සිදුකරන වීථි සිත් ඇති වෙමින් පැවැත්ම ය.

මේ කයෙහි “නිදියන - අවදිවන සත්වයෙක් හෝ ආත්මයෙක් නැත. නිත්‍ය වූ දෙයක් ද නැත. සැප ය යි කියා ගතහැකි දෙයකුත් නැතැ” යි තමාට ම විනිශ්චය කර ගත හැකි ඤාණය පහළ වන්නේ ය. එය අසමොහ සම්පඤ්ඤය යි.

පාලි

ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති - පෙ - න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

මේ කොටස ආනාපාන - ඉරියාපථ පබ්බයන්හි කී පරිද්දෙන් දත යුතු යි.

සම්පජඤ්ඤ පබ්බය නිමි.

කායානුපස්සනාවේ (4) පටික්කුල මනසිකාර පබ්බය

පාලි

“පුන ච පරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙස මත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං, අන්තං අන්තගුණං උදරියං කරීසං මත්ථලුඞ්ගං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තන්ති”

කෙටි අදහස

මහණෙනි, නැවත ද අනික් මනස්කාර ක්‍රමයක් කියනු ලැබේ. යෝගී තෙමේ පාද තලයෙන් උඩ ඉසකේ මස්තකයෙන් යට සමෙන් දැවටී ඒ සම අවසන් කොට ඇති නොයෙක් අසුචියෙන් පිරුණු මේ ශරීරය ම සිහි නුවණින් බලයි.

කෙසේ ද යත්? මේ කයෙහි කෙස්, ලොම්, නියපොතු, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදය මාංසය, අක්මාව, දළබු සිවිය, බඩදිව, පපුගඩු, අතුණු, අතුණු බහන්, නොපැසුණු ආහාර, ආහාර ….., මොළ, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේද තෙල, කඳුලු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳ මිදුලු, මුත්‍ර යන මෙකී අපිරිසිදු කුණප වස්තූහු මේ ශරීරයෙහි ඇත්තාහු ය.

පාලි

“සෙය්‍යථාපි භික්ඛවෙ උභතොමුඛා මුතොලි පූරා නානාවිහිතස්ස ධඤ්ඤස්ස, සෙය්‍යථිදං? සාලීනං වීහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. තමෙනං චක්ඛුමා පුරිසො මුඤ්චිත්වා පච්චවෙක්ඛෙය්‍ය. ඉමෙ සාලී, ඉමෙ වීහී ඉමෙ මුග්ගා, ඉමෙ මාසා, ඉමෙ තිලා, ඉමෙ තණ්ඩුලාති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා, තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා -පෙ-මුත්තන්ති.”

කෙටි අදහස

මහණෙනි, යම් සේ උඩ යට දෙපසින් මුව (කට) දෙකක් ඇති මල්ලක් හැල් වී, මහ වී, මුං, මෑ, තල යන ආදී නොයෙක් ධාන්‍ය වර්ගයන් ගෙන් පුරවන ලද්දේ වෙයි ද, එය දුටු ඇස් ඇති පුරුෂයක් ඒ මල්ල ලිහා මේ හැල් වී ය, මේ මා වී ය, මේ මෑ ඇටය, මේ තලය, මේ හාල් ය, යන ආදිය කියමින් සලකා බලන්නේ යම් සේ ද, මහණෙනි! එපරිද්දෙන් ම යෝගී තෙමේ පාදාන්තයෙන් උඩ හිසකේ මතුයෙන් යට සම කෙළවර කොට ඇති මේ ශරීරය කෙස්, ලොම්, නියපොතු, දත් - පෙ- කෙළ, සොටු, සඳ මිදුලු, මුත්‍ර යන කුණපයන්ගෙන් පිරී පවතින්නේ ය යි සිහි නුවණින් සලකා බලන්නේ ය.

පාලි

ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති.

සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.

අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.

කෙටි අදහස

මෙසේ තමාගේ කයෙහි හෝ කෙස්, ලොම් ආදී කුණු කොටස් මෙනෙහි කරමින් කය අනුව බලන සුලුව වාසය කරයි. අනුන්ගේ කයෙහි හෝ කෙස් ආදී කුණු කොටස් මෙනෙහි කරමින් කය අනුව බලන සුලුව වාසය කරයි. තමාගේ හෝ අනුන්ගේ කෙස් ආදී කුණු කොටස් මෙනෙහි කරමින් කය අනුව බලන සුලුව වාසය කරයි.

කෙස්, ලොම් ආදී කුණු කයෙහි (එය) උපදවන ප්‍රත්‍යය හා ඉපදීම අනුව බලමින් වාසය කරයි. කෙස්, ලොම් ආදී කුණු කයෙහි බිදීයාමේ (නැතිව යාමේ), ප්‍රත්‍යය හා බිඳීම (නැතිවීම) අනුව බලමින් වාසය කරයි. කෙස්, ලොම් ආදී කුණු කයෙහි ඉපදවීමේ ප්‍රත්‍යය හා ඉපදීම ද නැතිව යාමේ ප්‍රත්‍යය හා නැතිවීම ද අනුව බලමින් වාසය කරයි.

මෙහි කෙස්, ලොම් ආදී කුණප කොටස් පමණක් ඇත. පුද්ගලයෙක් හෝ සත්වයෙක් නැතැ යි ඒ භාවනානුයෝගීයාහට සිහිය එළඹ සිටියා වෙයි. එය පිළිවෙළින් ඤාණය වැඩි දියුණුවීම පිණිස වෙයි. පිළිවෙළින් සිහිය වැඩි දියුණුවීම පිණිස ද වෙයි.

වැඩි දියුණු වූ සිහිය හා ඤාණය ඇති ඒ යෝගී තෙමේ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තොරව ද වාසය කරයි. එහෙයින් උපදිමින් නැසෙමින් පවත්නා කෙස්, ලොම් ආදී උපාදාන ස්කන්ධ සංඛ්‍යාත සංකාර ලෝකයෙහි කෙස්, ලොම් ආදී කිසිවක් මම ය මාගේ ය යි කියා තණ්හා දිට්ඨි දෙකින් තදින් අල්ලා නොගනී. මහණෙනි, භාවනානුයෝගී තෙමේ මෙසේ ද කෙස්, ලොම් ආදී කුණු කය අනුව බලමින් වාසය කරයි.

එහි විස්තරය:

“සමුදය ධම්මානු පස්සී -වයධම්මානුපස්සී - අනිත්තො-න ච කිඤ්චි ලොකෙ උපාදියති” යන මෙකී වචන වලින් පැහැදිලි වන්නේ පටික්කුල මනසිකාර පබ්බයෙහි ද විදර්ශනාව ම මූලික කොට ගෙන වදාළ බව ය. කුමක් නිසා ද යත්? තනිකර සමථයෙන් කය පිළිබඳ ඇතිවීම හා නැති වීම ද නොදත හැකි ය. කය මම ය මාගේ යයි කියා තදින් අල්ලා තණ්හා දිට්ඨි ආදී කෙළෙසුන් දුරු කළ නොහැකි ය. විදර්ශනා භාවනා වෙන් ම කයේ ඇතිවීම හා නැති වීමත් දත හැකි වෙයි. තණ්හා දිට්ඨි කෙලෙසුන් කෙරෙන් ද දුරු විය හැකි වෙයි. එහෙයින් පටිකූල මනසිකාර පබ්බයෙහි ද විදර්ශනාව ඇති විය හැකි බව සැලකිය යුතු යි.

කුමක් හෙයින් ද යත්? කෙස්, ලොම් ආදී වශයෙන් මෙනෙහි කරන කල්හි සිත එකඟවන-සමාධිය ඇති විය හැකිය. සමාධිය වනාහි උපචාර සමාධි-අර්පනා සමාධි වශයෙන් දෙවැදෑරුම් වේ. එහි උපචාර සමාධිය නම් ධ්‍යාන සිත ඇතිවීමට පෙර පෘථග්ජනයාට හෝ සෙඛ පුද්ගලයාට නම් ඥාණ සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත්හි යෙදෙන ඛණික චිත්තෙකග්ගතා චෛතසික ය යි. අර්පනා සමාධිය නම්, ප්‍රථමාධ්‍යානය හා සම්ප්‍රයුක්ත වන ඒකග්ගතා චෛතසික ය යි. “පටික්කූලාරම්මණතා චණ්ඩසොතාය නදියා අරිත්ත බලෙන නාවා විය විතක්ක බලෙන තත්ථ චිත්තං පවත්තතීති අසුභ කම්ට්ඨාන අවිතක්කඣාන අසම්භවතො පඨමජ්ඣානිකාතිවුත්තං” … ටීකායෙහි කී බැවින් කෙස්, ලොම්, සෙම්, සොටු, මල, මුත්‍ර ආදිය පිළිකුල් කුණප කොටස් වූ බැවින් ගංගාවෙහි සැඩ දිය පහරින් පහළට පාවී යන පාරුවක් රිටේ බලයෙන් නවත්වා ගන්නාක් මෙන් පිළිකුල් කුණප අරමුණෙහි සිත නවත්වා ගත හැකි වන්නේ විතර්ක චෛතසිකයේ බලයෙනි. ඒ නිසා මේ පිළිකුල් අරමුණෙහි ප්‍රථම ධ්‍යානය ම මිස විතර්ක රහිත අනික් ධ්‍යානයක් නො උපදනේ ය. (ධ්‍යන රහිතව රහත් වන ඇතැම් සුක්ඛ විපස්සක රහතන් වහන්සේලා ද මේ පිළිකුල් අරමුණ මෙනෙහිකර ප්‍රථම ධ්‍යානය ලබා ගනිති).

මෙසේ උපචාර-අර්පනා වශයෙන් ලබාගත් ධ්‍යාන ඇති ඒ යෝගී පුද්ගලයා විසින් නැවත ඒ ධ්‍යාන සිත හා එයට අරමුණු වූ කෙස්, ලොම් ආදී නාම රූප ධර්මයන් මෙනෙහි කරන කල්හි ඔහුට ඒ නාම රූපයන්ගේ ඉපදීම හා නැති ව යෑම ද ප්‍රකටව දත හැකි ව න්නේය. මෙසේ මෙනෙහි කරමින් ඒ අරමුණේ තතු දැන ගන්නා වාරයක් පාසා ඒ කෙස් ලොම් ආදිය සහ ධ්‍යාන චිත්තය පිළිබඳ තණ්හා දිට්ඨි දෙක දුරු වී යන්නේ ය. මෙනෙහි කිරීමක් පාසා ධ්‍යාන චිත්තය හා කෙස්, ලොම් ආදිය පිළිබඳ ඇතිවීම හා නැතිවීම ත් ඔවුන්ගේ ප්‍රත්‍ය දැක ගැනීම ත් සමුදය ධම්මානුපස්සී ය යි කියන ලදී. සෙස්ස පෙර කී සේ ම ය. මෙහි දී තණ්හා දිට්ඨිවලින් තොර වූ විදර්ශනාව දියුණුවන බව සැලකිය යුතු යි.

පටික්කුලමනසිකාර පබ්බය නිමි.

කායානුපස්සනාවේ (5) ධාතු මනසිකාර පබ්බය

“පුන චපරං භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූති. සෙය්‍යථාපි භික්ඛවෙ දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා චතුමහාපථෙ බිලසො විභජිත්වා නිසින්නො අස්ස. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ පථවී ධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූති.”

කෙටි අදහස

මහණෙනි, නැවත ද අනික් භාවනා මනස්කාරයක් කියනු ලැබේ. යෝගී තෙමේ තමාගේ ම මේ රූපක ය ම සතර ඉරියවු අතුරෙන් යම් ඉරියව්වකින් සිටියේ වෙයි ද යම් ඉරියව්වකින් පිහිටුවන ලද්දේ වෙයි ද එසේ සත්වයෙක් පුද්ගලයෙක් නොවන ධාතු ස්වභාවයාගේ වශයෙන් නුවණින් සලකා බලන්නේ ය. මේ කයෙහි තද ගොරෝසු ගතිය වූ පඨවි ධාතුව ද වැගිරෙන හෝ බැඳෙන ගතිය වූ ආපෝ ධාතුව ද උණුසුම් හෝ සිහිල් ගතිය වූ තෙජෝ ධාතුව ද රුකුල් දෙන හෝ පුම්බවන ගතිය වූ වායෝ ධාතුව ද යන මේ සතර මහා ධාතු ස්වභාවයෝ ම ඇත්තාහු ය යි නුවණින් සලකා බලන්නේ ය. මහණෙනි! යම්සේ ගවඝාතකයෙ (ගවයන් මරන්නෙ) ක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ වෙළඳාම පිණිස ගවයෙකු මරා ඒ ගව මස් කොටස් කොටස් වශයෙන් බෙදා සතර මංසන්ධියෙක හුන්නේ වෙයි ද, මහණෙනි! එවිට මස් කොටස් මිස ගවයෙකු දකින්ට නො ලැබෙන්නාක් මෙන් යෝගී තෙමේ තමාගේ මේ කය ම පවතින්නේ යම් සේ ද පිහිටා සිටින්නේ යම් සේ ද එසේ ම සත්වයෙක් නො වන පුද්ගලයෙක් නො වන ධාතු ස්වභාවයාගේ වශයෙන් නුවණින් සලකා බලන්නේ ය. කෙසේ ද? මේ කයෙහි තද හෝ මොලොක් වූ පෘථිවි ධාතුවය, බැඳෙන හෝ වැගිරෙන ආපෝ ධාතුව ය,

උණුසුම් හෝ සිසිල් වූ තෙජෝ ධාතුව ය, රුකුල් දෙන හෝ පුම්බවන වායෝ ධාතුව ය යන මේ සතර මහා භූත ධාතු මාත්‍රයක් ම ඇතැයි බලන්නේ ය.

එහි විස්තරය:

කේස කොට්ඨාශයෙහි සිට මුත්‍ර කොට්ඨාශය දක්වා පැවති දෙතිස් කුණප කොටස් අතුරෙන් කෙස් ආදී කොට ඇති හිස් මොල අවසන් කොට ඇති කුණප කොටස් (20) විස්ස පඨවී ධාතු නම් වේ. මේ කොටස් විස්ස තද ගතිය, මොලොක් ගතිය, හැපෙන ගතිය ඇත්තේ ය යි දත හැකි ය. මෙසේ දත හැකි නිසා එය පරමාර්ථ පෘථිවි ධාතුව ය.

මෙහි තද ගතිය නම්, උත්සන්න වූ පෘථිවි ධාතුව ය. මොලොක් ගතිය නම්, මන්ද වූ පෘථිවි ධාතුව ය.

පිත ආදී මුත්‍ර අවසන් කොට ඇති කුණප කොටස් (12) දොළොස ආපෝ ධාතුව යි. මේ කොටස් දියාරු ගතිය, වැගිරෙන ගතිය, ධූවිලි කුඩු හා එකට බැඳෙන ගතිය ඇත්තේ යයි දත හැකි ය. මෙසේ දත හැකි නිසා එය පරමාර්ථ ආපෝ ධාතුව ය.

මෙහි බැඳීම් ගතිය නම්, මන්ද වූ ආපෝ ධාතුව ය. වැගිරීම ගතිය නම් උත්සන්න වූ ආපෝ ධාතුව ය.

සන්තාපය, ජීරණය, දාහය, පාචකය 3 තෙජෝ ධාතුව සිවු වැදෑරුම් වේ. කයෙහි පවත්නා මේ තෙජෝ ධාතුව උණුසුම් ගතිය, සිහිල් ගතිය, දැවෙන ගතිය, තැවෙන ගතිය, පැසවන ගතිය ඇත්තේ යයි දත හැකිය. මෙසේ දැනගත හැකි නිසා එය පරමාර්ථ තේජෝ ධාතුව ය.

මෙහි සන්තාප තේජෝ ධාතු යනු දැඩි සේ තවන ගින්න ය. මෙය වනාහි ප්‍රකෘති උණුසුමට වඩා දැඩි සේ දියුණු තියුණු වූ ගිනි විශේෂයකි. මාන්දම් උණ, ග්‍රහණි උණ, සන්නිපාත උණ, මුර උණ, ඇඟ දැවිල්ල, ඇස් දැවිල්ල, බඩ දැවිල්ල, දෙ අත්ල එකට ගැටීමෙන් හට ගන්නා උෂ්ණය, හිරු රැසින් හට ගන්නා උෂ්ණය, ගින්නෙන් හටගන්නා උෂ්ණය, වැඩිහිටියන් කෙරෙහි වරදවා හැසිරීමෙන් හටගන්නා උෂ්ණය යන මේ ආදී වශයෙන් හටගන්නා උණුසුම් ගති සියල්ල සන්තාප තේජෝ ධාතු ය යි කියනු ලැබේ.

ජීරණ තේජෝ ධාතු යනු ශරීරය දිරවන ගින්න ය. ශරීරයෙහි පවත්නා සියලු ම උණුසුම් ගති හා සිහිල් ගති ද උණු සිහිල් ගති පවා නොදැනෙන තරම් ඉතා සියුම් ආකාරයෙන් දවන්නා වූ ශීතෝෂණ ගති ද යන මේ ගිනි සියල්ලක් ම ඒ ගින්නෙන් ඇවිල ගන්නා ලද පඨවි - ආපෝ ධාතු දෙවර්ගය සත්වයා ළදරු කල පටන් දිනෙන් දින සත්වයා වෙනස් කරමින් මුහු කරවා දිරවා හරින - ජීරණ ශක්තිය ඇති හෙයින් ජීරණ තේජෝ ධාතු ය යි කියනු ලැබේ.

දාහ තෙජෝ ධාතු යනු සත්ව ශරීරය දවන ගින්න ය. මෙය සන්තාප ගින්නට වඩා දියුණු තියුණු ව ඔබ මොබ හැසිරෙමින් පෙරලෙමින් කෙඳිරිය ඇති කරවන තරම් දවන ගින්න ය. මරණාසන්න වන තරම් දවන ගින්න ය. එසේ ම ශරීරයෙහි ප්‍රකෘති ශීතලට වඩා දියුණු තියුණු ව අත පය හිරි වැටෙන තරම් ශීත උපදවා දවන ගින්න ය. හිරිවාත-සන්නි රෝගාදිය ඇතිවන තරම් දවන ගින්න ය. ශීත සෘතුව පැමිණි විට ශීත උපදවා දවන ගින්න ය. ශීත සෘතුවෙහි ස්නානය කළ කල්හි ශීත උපදවා දවන ගින්න ය. පවන් සැලීම්

ආදියෙන් ශීත උපදවා දවන ගින්න ය. ද්වේෂය නිසා සකල ශරීරය දවන ගින්න ය. මෙකී ගිනි සියල්ල ම දාහ තෙජෝ ධාතු නම් වේ.

පාචක තේජෝ ධාතු යනු ආහාර පැසවන ගින්න ය. මෙය වනාහි සාමාන්‍යයෙන් උගුරු ආවටයෙහි පටන් ගුද මාර්ගය දක්වා බඩවැල් කුහරයෙහි ද, ආමාස යයි කියන ලද ආහාර බොක්කෙහි ද, අධික වශයෙන් පවතිමින් කන බොන ආහාර පැසවන්නාවූ ද බඩ වැල සහ එහි ඇතුල් වන ආහාර ද්‍රව්‍යයන් නිතර දවන්නා වූ උෂ්ණ ගින්නකි. කුසගත ගින්නක් බැවින් මෙයට බඩගින්න ය යි කියා ද ජඨරාග්නිය ය යි කියා ද ව්‍යවහාර කරති.

මෙහි උණුසුම් ගතිය නම්, උත්සන්න වූ තෙජො ධාතුව ය. සිහිල් ගතිය නම්, මන්ද වූ තෙජෝ ධාතුව ය.

උද්ධගම වාතය, අධෝගම වාතය, කුච්ඡිසය වාතය, කොට්ඨාසය වාතය, අඞ්ගමඞ්ගානුසාරී වාතය, ආස්සාස පස්සාස වාතය යි කියා ශරීරයෙහි පවතින්නා වාත කොටස් සයක් වේ. මේ වායු කොටස්හි ශරීරයට රුකුල් දීම ය, ශරීරය නැගිටුවීම ය, උස් කිරීම ය, පහත් කිරීම ය, සැලීම ය, ඇද ගැනීම ය, තල්ලු කිරීම ය යන මේ ගති පැවතුම් ඇත්තේ ය යි දත හැකිය. මෙසේ දැනගත හැකි නිසා එය පරමාර්ථ වායෝ ධාතුව ය.

එහි උද්ධගම වාතය නම් කුක්ෂියෙන් පටන් ගෙන උඩට නැගී ඉහළ යට සිදුරු වලින් නික්මෙන වාත ය යි.

අධෝගම වාතය නම්, කුක්ෂියෙන් පටන් ගෙන පහළට බැස යට සිදුරු වලින් නික්මෙන වාතය යි.

කුච්ඡිසය වාතය නම් බඩ වැලෙන් පිටත හෘදය කුහර - කුක්ෂි කුහර දෙක්හි පවත්නා වාත ය යි.

කොට්ඨාසය වාතය නම් බඩ වැල ඇතුලේ පවත්නා චාත ය යි.

අඞ්ගමඞ්ගානුසාරී වාතය නම්, අත පය ආදී ඒ ඒ කායාඞ්ගයන් අනුව ගමනාගමනය කරන වාත ය යි.

අස්සාස පස්සාස වාතය නම්, ඉහළ පහළ හෙළන නාසිකා වාත ය යි. මෙහි රුකුල් දීම් ගතිය නම්, මන්ද වූ වායෝ ධාතුව ය. සැලීම් ගතිය නම් උත්සන්න වූ වායෝ ධාතුව ය.

මෙහි විදර්ශනාව සිදුවන ආකාර ය නම්, කේස කොට්ඨාසයෙහි පටන් ආශ්වාස ප්‍රශ්වාස ය දක්වා පවත්නා කොටස් (42) දෙසාළිස මෙනෙහි කරමින් උපාචාර-අර්පනා ධ්‍යාන සමාධි ලබාගත් සමථයානික පුද්ගලයා හට වනාහි නැවත ඒ සමාධි චිත්තය හා සමග කෙස් ලොම් ආදීගේ ඉපදීම හා නැතිවීම මෙනෙහි කිරීමෙන් උදයබ්බය ඤාණය ආදී විදර්ශනා ඥාන පරම්පරාව පහළ වන්නේ ය. මෙය වනාහි ධාතු මනසිකාරයෙන් සමථයානිකයාහට විදර්ශනාව උපදනා ආකාර ය යි.

විදර්ශනායානිකයාහට වූ කලී ශරීරය තුළ ප්‍රකට ව ගැටෙන ස්ථානයන්හි සිහි නුවණ යොදවා සලකා බැලුව හොත් පඨවි ආදී ධාතු සතර ලක්ෂණ රස ආදී වශයෙන් පිරිසිඳ නුවණැසින් දැක ගැනීමෙන් ගැටීම ද එය අරමුණු කරන සිත ද ඒ සතර මහා භූත ධාතුන්ගේ ඇති වීම හා නැතිවීම ද ප්‍රකට ව දැන ගැනීමෙන් උදයබ්බය ආදී විදර්ශනා ඥාන පරම්පරාව පහළ කර ගත හැකි වන්නේ ය. මේ කියන ලද්දේ ධාතු මනසිකාරයෙන් විපස්සනායානික පුද්ගලයාහට විදර්ශනාව උපදනා ආකාරය යි.

එය මිනිසෙකුගේ මධ්‍යම ප්‍රමාණ ශරීරයක් පරීක්ෂා කර බැලුව හොත් එහි පරමාණු තරම් සියුම් රජස් කුඩු යයි කියන ලද පඨවිධාතු ද්‍රෝණයක් පමණ ඇත. එය එයින් භාගයක් පමණ ආපෝධාතුවෙන් (ජලයෙන්) පිඩු කරන ලදුව, තේජෝ ධාතුවෙන් කුණු නොවන සේ ආරක්ෂක්ෂා කරන ලදු ව, වායෝ ධාතුවෙන් එය නොවිසිරෙන ලෙස එකට සම්බන්ධ ව පවත්නා නිසා මේ සත්වයෙක් ය, මේ ස්ත්‍රියක් ය, මේ පුරුෂයෙක් ය, මේ ගසක් ය, මේ ගලක් ය’ යන ආදී රූ සටහන් වශයෙන් පවතින්නේ ය.

පරමාණුව ඉතා කුඩා ද්‍රව්‍යයකි. එය මිනිසුන්ගේ මසැසට නො පෙනෙන තරම් ඉතා සියුම් වස්තුවකි. එය පෙනෙන්නේ දිවැසට පමණ යි. එවැනි කොටස් සතිසක් (36) අණු රේණුවකි. අණු රේණු සතිසක් (36) තජ්ජාරි රේණුවකි. තජ්ජාරි රේණු සතිසක් (36) රථ රේණුවකි. රථ රේණු සතිසක් (36) ඌකාවකි. ඌකා සතක් (7) එක් ලික්ඛාවකි. ලික්ඛා සතක් (7) කුඩා මෑ ඇටයක් පමණ ය. මෑ ඇට සතක් (7) එක් අඟලකි. ද්‍රෝණය යනු සොළොස් නැළියකි.

කාෂ්ට මුඛ සර්පයා ය, පූතිමුඛ සපයා ය, අග්නි මුඛ සර්පයා ය, ශස්ත මුඛ සර්පයා ය යි විෂ ඝෝර සර්පයෝ සතර දෙනෙක් වෙති. ඔවුන් විසින් දෂ්ට කළ තැනැත්තා එකෙණෙහි ම මැරී යන්නාක් මෙන් මේ ශරීරයෙහි පවත්නා පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන් ගෙන් යමක් කුපිත වුව හොත් එකෙණෙහි ම මරණය සිදුවෙයි.

1.”පත්ථද්ධො භවතී කායො

දට්ඨො කට්ඨමුඛෙන වා

පථවී ධාතුපකොපෙන

හොති කට්ඨමුඛෙව සො”

කාෂ්ට මුඛ සර්පයා විසින් දෂ්ට කළ තැනැත්තාගේ ශරීරය තද වී- දරදඬු වන්නාක් මෙන් මේ ශරීරයෙහි පවත්නා පඨවි ධාතුව කෝපවීමෙන් උග්‍ර විෂ ඇති කාෂ්ට මුඛ සර්පයාගේ මුඛයට පිවිසියෙකු සේ ශරීරය දරදඬු වී මරුමුවට පත්වන්නේ ය.

2. “පූතිකො භවතී කායො

දට්ඨො පූතිමුඛෙන වා

ආපොධාතුපකොපෙන

හොති පූතිමුඛෙව සො”

පුතිමුඛ සර්පයා විසින් දෂ්ට කළ තැනැත්තාගේ ගරීරය කුණු වී, යන්නාක් මෙන් මේ ශරීරයෙහි පවත්නා ආපෝ ධාතුව කෝපවීමෙන් පූතිමුඛ සර්පයාගේ මුඛයට පිවිසියෙකු සේ ශරීරය කුණු වී පැසවා, මරුමුවට පත්වන්නේ ය.

3. “සන්තත්තො භවතී කායො

දට්ඨො අග්ගිමුඛෙන වා

තෙජොධාතුපකොපෙන

හොති අග්ගිමුඛෙව සො”

අග්නි මුඛ සර්පයා විසින් දෂ්ට කළ තැනැත්තාගේ ශරීරය සර්වප්‍රකාරයෙන් ගින්නෙන් දැවෙන්නාක් මෙන් - තැවෙන්නාක් මෙන් මේ ශරීරයෙහි පවත්නා තේජෝ ධාතුව කුපිතවීමෙන් දරුණු විෂ ඇති අග්නි මුඛ සර්පයාගේ මුඛයට පිවිසියකු ගේ ශරීරය දැවි දැවී මරුමුවට පත්වන්නේ ය.

4. “සඤ්ඡින්නො භවතී කායො

දට්ඨො සත්ථමුඛෙන වා

වායො ධාතුපකොපෙන

හොති සත්ථ මුඛෙව සො”

ශස්ත්‍ර මුඛ සර්පයා විසින් දෂ්ට කළ තැනැත්තාගේ ශරීරය උපසේන මහා ස්වාමීන් වහන්සේගේ ශරීරය හාත්පසින් සුණු විසුණු වූවාක් මෙන් මේ ශරීරයෙහි පවත්නා වායෝ ධාතුව කෝපවීමෙන් දරුණු වීෂ ඇති ශස්ත මුඛ සර්පයාගේ මුඛයට පිවිසියකුගේ ශරීරය සේ කැඩී බිඳී සුණු විසුණු වී ගොස් මරුමුවට පත්වන්නේ ය යි ද කීහ.

ධාතු මනසිකාර පබ්බය නිමි.

කායානුපස්සනාවේ (6) සීවථික පබ්බය

පළමු සීවථිකය

පාලි

පුන ච පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බක ජාතං, සො ඉමමෙව කායං උපසංහරති, “අයම්පි ඛො කායො එවං ධම්මො, එවං භාවී, එවං අනතීතො” ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරතී - පෙ - න ච කිඤ්චි ලොකෙ උපායදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.

කෙටි අදහස

මහණෙනි! නැවත ද සම්පජඤ්ඤපබ්බයට අනතුරුව අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ. කෙසේද ය? යෝගී තෙමේ අමු සොහොනෙහි දමන ලද්දා වූ මැරී එක් දවසක් ගියා වූ හෝ මැරී දෙ දවසක් ගියා වූ හෝ මැරී තුන් දවසක් ගියා වූ හෝ මරණයෙන් පසු ශරීරය කුණුවීම නිසා වාත වේගයෙන් පුම්බවා රබර් කොට්ටයක් මෙන් පිළිකුල් ආකාරයෙන් ඉදිමුනා වූ ජීවත් ව සිටියදී පැවති ප්‍රකෘති වර්ණය වෙනස් ව බොහෝ සෙයින් නිල් වූ වැගිරෙන සැරව ඇති කුණු සැරවයෙන් යුක්ත වූ පිළිකුල් මළ සිරුරක් දකින්නාක් මෙන්, ඒ යෝගි තෙමේ තමාගේ කය ද එය හා සසඳා සලකා බලන්නේ ය. මෙසේ ම මාගේ මේ කය ද මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ ඉදිමීම් ආදී ස්වභාවයට පැමිණෙන සුලුය. මේ මළ සිරුර මෙන් මාගේ මේ කය ද ඒකාන්තයෙන් ඉදිමීම් කුණු වීම් ස්වභාවය නො ඉක්ම සිටියේ ය යි කියා මේ කය ද ඒ මෘත ශරීරයාගේ ස්වභාවයෙහි ලා සසඳා බලන්නේ ය.

“ඉති අජ්ඣත්තං වා කාය” යන ආදී කොටස ඉරියාපථපබ්බයෙහි කී සේ යි.

එහි විස්තරය

මේ සීවථික කාණ්ඩයෙහි ද සමුදයධම්මානුපස්සී යන ආදි වශයෙන් විදර්ශනාව ඇති වන ආකාරය දැක්වූහ. මහාසිව ස්වාමීන් වහන්සේ විසින් ද මෙය විදර්ශනාව පිළිබඳ ආදීනවානුපස්සනාව ය යි කියන ලදී. ඒ නිසා සීවථික භාවනාවෙන් විදර්ශනාව ඇති වන සැටි මෙසේ මතු දැක්වෙන ආකාරයෙන් සැලකිය යුතු යි.

දෙවැනි සීවථිකය

පාලි

“පුන ච පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං කාකෙහි වා ඛජ්ජමානං කුලලෙහි වා ඛජ්ජමානං ගිජ්ඣෙහි වා ඛජ්ජමානං කඞ්කෙහි වා ඛජ්ජමානං සුනඛෙහි වා ඛජ්ජමානං බ්‍යග්ඝෙහි වා ඛජ්ජමානං දීපීහි වා ඛජ්ජමානං සිඞ්ගාලෙහි වා ඛජ්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං සො ඉමමෙව කායං උපසංහරති. “අයම්පි ඛො කායො එවං ධම්මො එවං භාවී එවං අනතීතො” ති “ඉති අජ්ඣත්තං වා කායෙ කායානු පස්සී විහරති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති. න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.”

කෙටි අදහස

මහණෙනි! නැවත ද අනික් සීවථික භාවනා ක්‍රමයක් කියනු ලැබේ. එනම්, යෝගී තෙමේ අමුසොහොනෙහි දමන ලද්දා වූ කවුඩන් විසින් ගනු ලබන්නා වූ හෝ උකුස්සන් විසින් කනු ලබන්නා වූ හෝ ගිජු ලිහිණියන් විසින් කනු ලබන්නා වූ හෝ සුනඛයන් විසින් කනු ලබන්නා වූ හෝ සිවලුන් විසින් ගනු ලබන්නා වූ හෝ අනේක ප්‍රකාර සතුන් විසින් ගනු ලබන්නා වූ හෝ මෘත ශරීරයක් දකින්නාක් මෙන් ඒ යෝගී තෙමේ තමාගේ රූප කය ද, එය හා සසඳා බලන්නේ ය. මෙසේ ම මාගේ මේ කය ද, මේ මල සිරුර මෙන් නානාප්‍රකාර සතුන් විසින් කනු ලබන ස්වභාව ඇත්තේ ය. මෙසේ වන මේ ස්වභාවය ඇත්තේ ය. මෙසේ වන මේ ස්වභාවය නො ඉක්මවන ලද්දේ ය යි කියා මේ කය ද ඒ මෘත ශරීරයාගේ ස්වභාවයෙහි ලා සසඳා බලන්නේ ය. ඉතිරි කොටස ඉරියාපථබ්බයෙහි මෙනි.

දෙවැනි සීවථිකය නිමි.

තුන්වැනි සීවථිකය

පාලි

“පුන චපරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨික සඞ්ඛලිකං සමංසලොහිතං නහාරු සම්බන්ධං සො ඉම මෙව කායං උපසංහරති, “අයම්පි ඛො කායො ඒවං ධම්මො එවං භාවී එවං අනතීතො”ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති - පෙ - න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.”

කෙටි අදහස

මහණනි! නැවත ද අනික් සීවථික භාවනා ක්‍රමයක් කියනු ලැබේ. එනම්, යෝගී තෙමේ අමුසොහොනෙහි දමන ලද, ලේ මස් සහිත, නහරවැලින් බැඳුනු ඇට සැකිලි මල සිරුරක් දකින්නාක් මෙන් ඒ යෝගී තෙමේ තමන්ගේ රූප කය ද එය හා සසඳා බලන්නේ ය. කෙසේ ද යත්? මෙසේ ම මාගේ මේ කය ද නහරවලින් බැදි ලේ මස් සහිත ඇට සැකිලි බවට පත් වන සුලු ය. ඇට සැකිලි බව නො ඉක්ම වන ලද්දේ ය යි කියා, මේ කය ද ඒ ඇට සැකිලි මල සිරුරේ ස්වභාවයෙහි ලා සසඳා බලන්නේ ය. සෙස්ස පෙර කී සේ ම ය.

තුන් වැනි සීවථිකය නිමි.

සතරවැනි සීවථිකය

පාලි

පුන චපරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨික සඞ්ඛලිකං නිම්මංස ලොහිත මක්ඛිතං නහාරුසම්බන්ධං. සො ඉමමෙව කායං උපසංහරති, “අයම්පි ඛො කායො ඒවං ධම්මො, එවං භාවි, එවං අනතීතො”ති. ඉති අජ්ඣත්තං වා කායෙ - පෙ - එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.

කෙටි අදහස

මහණෙනි! නැවත ද අනික් සීවථික භාවනා ක්‍රමයක් කියනු ලැබේ. ඒ මෙසේ යි. යෝගී තෙමේ අමුසොනෙහි දමන ලද නහරවැලින්, බැඳුනු මස් නැති ලෙයින් වැකුණු ඇට සැකිලි මළ සිරුරක් දකින්නාක් මෙන් ඒ යෝගී තෙමේ තමාගේ රූප කය ද එය හා සසඳා බලන්නේ ය. කෙසේ ද යත්? මෙසේ ම මාගේ මේ කය ද නහර වැලින් බැඳී මස් නැති ලේ වැකුණු ඇට සැකිලි බව නො ඉක්ම වන ලද්දේ ය යි කියා මේ කය ද ඒ ඇට සැකිලි මළ සිරුරේ භාවයෙහි ලා සසඳා බලන්නේ ය. සෙස්ස පෙර කී සේ ම ය.

සතරුනි සීවථිකය නිමි.

පස්වැනි සීවථිකය

පාලි

පුන ච පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං අට්ඨික සඞ්කලිකං අපගතමංස ලොහිතං නහාරු සම්බන්ධං සො ඉමමෙව කායං පටි සංහරති, “අයම් පි ඛො කායො එවං ධමො එවං භාවී එතං අනත්තා” ති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති. -පෙ- න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම් පි ඛො භික්ඛවෙ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

කෙටි අදහස

මහණෙනි! නැවත ද අනික් සීවථික භාවනා ක්‍රමයක් කියනු ලැබේ. ඒ මෙසේ යි: යෝගී තෙමේ අමු සොහොනෙහි දමන ලද - නහරවැලින් බැඳුනු - මස් ලේ නැති ඇට සැකිල්ලක් දකින්නාක් මෙන් ඒ යෝගී තෙමේ තමාගේ රූප කය ද එය හා සසඳා බලන්නේ ය. කෙසේ ද යත්? මෙසේ ම මාගේ මේ කය ද නහර වැලින් බැඳුනු - මස් ලේ නැති - ඇට සැකිල්ලක් වන බව නො ඉක්මවන ලද්දේ ය යි කියා මේ කය ද මස් ලේ නැති ඇට සැකිලි මල සිරුරේ ස්වභාවයෙහි ලා සසඳා බලන්නේ ය. සෙස්ස පෙර කී සේ ම ය.

පස්වැනි සීවථිකය නිමි.

සවැනි සීවථිකය

පාලි

“පුන ච පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථීකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි අපගත සම්බන්ධානි දිසාවිදිසාසු නික්ඛිත්තානි අඤ්ඤෙන හත්ථට්ඨිකං, අඤ්ඤෙන පාදට්ඨිකං, අඤ්ඤෙන ගොපඵට්ඨිකං, අඤ්ඤෙන ජඞ්ඝට්ඨිකං, අඤ්ඤෙන ඌරට්ඨිකං, අඤ්ඤෙන පිට්ඨිට්ඨිකං, අඤ්ඤෙන කටට්ඨිකං, අඤ්ඤෙන ඛන්ධට්ඨිකං, අඤ්ඤෙන ගීවට්ඨිකං, අඤ්ඤෙන දන්තට්ඨිකං, අඤ්ඤෙන සීසකටාහං, සො ඉමමෙව කායං උපසංහරති, “අයම්පි ඛො කායො එවං ධමෙමා, එවම් භාවී, එතං අනතීතො” ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති වයධම්මානුපස්සී වා කායස්මිං විහරති සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.”

කෙටි අදහස

මහණෙනි! නැවත ද අනික් සීවථික භාවනා ක්‍රමයක් කියනු ලැබේ. ඒ මෙසේ යි: යෝගී තෙමේ අමු සොහොනෙහි දමන ලද - පහ වූ නහර බැඳුම් ඇති - දිසා අනු දිසාවන්හි විසිරුණු ඇට ඇති මල සිරුරක් දකින්නේ ය. කෙසේ ද යත්? එහි අත් ඇට අන් තැනක ය, පා ඇට අන් තැනක ය, කෙන්ඩා ඇට අන් තැනක ය, කලවා ඇට අන් තැනක ය, කටි (තුනටි) ඇට අන් තැනක ය, පිට කටු අන් තැනක ය, හිස් කබල අන් තැනක ය, යන මේ වශයෙන්. ඒ යෝගී තෙමේ තමාගේ රූපකය ද ඒ ඇට කටු හා සසඳා බලන්නේ ය. සෙස්ස පෙර කී සේ ය.

සවැනි සීවථිකය නිමි.

සත්වැනි සීවථිකය

පාලි

පුනච පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථීකාය ඩිතං. අට්ඨිකා සෙතානි සවණ පටිභාගාති. සො ඉමමෙව කායං උපසංහරති, “අයම්පි ඛො කායො එවං ධම්මො, එවං භාවී, එතං අනතීතො” ති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති - පෙ - න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම් පි ඛො භික්ඛවෙ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

කෙටි අදහස

මහණෙනි! නැවත ද අනික් සීවථික භාවනා ක්‍රමයක් කියනු ලැබේ. ඒ මෙසේ ය: යෝගී තෙමේ අමු සොහොනෙහි දමන ලද - සක් ගෙඩියකට බඳු සුදු පැහැයෙන් යුත් ඇට ඇති මළ සිරුරක් දකින්නාක් මෙන් ඒ යෝගී තෙමේ තමාගේ රූප කය ද එය හා සසඳා බලන්නේ ය. කෙසේ ද යත්? මේ මාගේ කය ද

සුදු හක් ගෙඩියක පාට වැනි සුදු පාට ඇති ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මෙසේ වීම නො ඉක්ම වන ලද්දේ වේ ය යි මෙනෙහි කරන්නේ ය. සෙස්ස පෙර කී සේ ය.

හත්වැනි සීවථිකය නිමි.

අටවැනි සීවථිකය

පාලි

පුන ච පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථීකාය ඡඩ්ඩිතං. අට්ඨිකානි පුඤ්ජීකතානි තෙරොවස්සිකානි. සො ඉමමෙව කායං උපසංහරති, “අයම්පි ඛො කායො එවං ධම්මො එවං භාවී එතං අනතීතො” ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී - පෙ - න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.

කෙටි අදහස

මහණෙනි! නැවත ද අනික් සීවථික භාවනා ක්‍රමයක් කියනු ලැබේ. ඒ මෙසේ යි: අමු සොහොනෙහි දමන ලදුව - අවුරුදු ගණනක් ඉක්ම ගොස් අවුවෙන් වැස්සෙන් හා සුළඟින් විසිරී ගොස් තැන් තැන්වල ගොඩගැසුනු ඇට ඇති මල සිරුරක් යෝගී තෙමේ යම් සේ දන්නේ වේ ද, හෙතෙම මාගේ මේ ශරීරය ද මෙබඳු භාවය ඇත්තේ ය, දිරා ගිය ඇට ගොඩවල් බවට පැමිණෙන්නේය. මෙසේ වීම නො ඉක්ම වන ලද්දේ වෙමැ යි තමාගේ කය එකී මළසිරුරේ ස්වභාවයෙහි ලා සසඳා බලන්නේය. සෙස්ස පෙර කී සේ යි.

අටවැනි සීවථිකය නිමි.

නවවැනි සීවථිකය

පාලි

පුනච පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සීවථිකය ඡඩ්ඩිතං අට්ඨිකානි පූතිකානි චුණ්ණක ජාතානි සො ඉමමෙව කායං උපසංහරති. “අයම් පි බො කායො එවං ධම්මො, එවං භාවී, එතං අනත්තා” ති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති - පෙ - න ච කිඤ්චි ලොකෙ උපාදියති. එනම් පි ඛො භික්ඛවෙ භික්ඛු කායේ කායානුපස්සී විහරතී.

කෙටි අදහස

මහණෙනි! නැවත ද අනික් සීවථික භාවනා ක්‍රමයක් කියනු ලැබේ. ඒ මෙසේ යි: අමු සොහොනෙහි දමන ලදු ව අබ්භෝකාසයෙහි එලිපිට ම පවත්නා බැවින් වාතයෙන් අඩුවෙන් හා වැස්සෙන් පීඩිත ව, අවුරුදු ගණනාවක් මුළුල්ලෙහි කුණු වීමෙන් දිරා සුණු විසුණු වූ මල සිරුරක් දක්නා යෝගී තෙමේ මාගේ මේ ශරීරය ද මෙබඳු ස්වහාව ඇත්තකි. මෙසේ වන සුලු ය. කුණු ව - සුණු විසුනු ව - විසිර ගිය ඇට කැබලිවලින් යුක්ත වීම නො ඉක්ම වන ලද්දේ වෙමැ යි, මෙසේ තමාගේ කය එකී සුණු විසුණු වූ මළ සිරුරේ ස්වභාවයෙහි ලා සසඳා බලන්නේ ය. සෙස්ස පෙර කී සේ ම ය.

මෙහි දී විශේෂයෙන් දත යුතක් ඇත.

එනම්, “තත්ථ ආනාපාන පබ්බං පටික්කුලමනසිකාර පබ්බන්ති ඉමා නෙව වෙ අප්පමා කම්මට්ඨානානි.

සීවථිකානං පන ආදීනවානුපස්සනා වසෙන වුත්තත්තා, සෙසානි ද්වාදසාපි උපචාරකම්මට්ඨානානෙව.” යි අටුවාවෙහි කීහ.

එහි තේරුම:

ඒ කායානුපස්සනා තුදුස (14) අතුරෙන් ආනාපාන පබ්බ පටික්කූල මනසිකාර පබ්බ යන කොටස් දෙක පමණක් අර්පනා ධ්‍යාන උපදවන කර්මස්ථානයෝ ම ය.

ඒ හැර “සීවථිකානං ආදීනවානුපස්සනාවසෙන වුත්තන්තා” යනුවෙන් “සීවථික නවය ආදීනවානුපස්සනාවගේ වශයෙන් වදාළ බැවින්” ආනාපාන පබ්බ පටිකූල මනසිකාර පබ්බයන්ගෙන් සෙස්ස වූ කායානුපස්සනා කොටස් දොළොස (12) ද උපචාර ධ්‍යාන උපදවන කර්මස්ථානයෝ ම ය.

තව ද සීවථික නවයෙහි “මළ සිරුරු - ඇට සැකිලි ඇතුළත් වුවත් ඒවා උපමා වශයෙන් ම මිස මෙනෙහි කළ යුතු කර්මස්ථාන වශයෙන් ඇතුළත් නො කළහ. උපමෙය්‍ය වූ ස්වකීය කය ම මෙනෙහි කළ යුතු වූ කර්මස්ථානය වෙයි. එහෙත් සවිඤාණක වු ස්වකීය කයෙහි අවිඤ්ඤාණක මෘත ශරීරයෙහි මෙන් අර්පනාධ්‍යනය නො ලැබිය හැකි ය. උපචාර සමාධි මාත්‍රයක් ම ලැබිය හැකි ය. එහෙයින් මෙතන්හි සීවථික කොටස් නවය අර්පනා කර්මස්ථාන වශයෙන් දෙසුවා නොව ආදිනවානු පස්සනා වශයෙන් ම දෙසූහ යි මහාසිව මහා ස්ථවිර ස්වාමීන් වහන්සේ කීහ.

මේ අටුවාවේ එන පරිදි ඉරියාපථ පබ්බය, සම්පජඤ්ඤ පබ්බය, ධාතු මනසිකාර පබ්බය, සීවථික පබ්බ නවය යන කර්මස්ථාන දොළොසින් යම් කර්මථානයක් අරමුණු කරමින්, භාවනා කරන යෝගියාහට වනාහි උපචාරධ්‍යන සංඛ්‍යාත උපචාර සමාධිය පහළ කරවමින් චිත්ත විසුද්ධිය ද සම්පාදනය වන්නේ ය යි කියන ලදී.

මෙහිදී විපස්සනා ඛණික සමාධිය ම උපචාර සමාධි ය යි කියන ලදී. කුමක් නිසාද යත්? නීවරණ කෙලෙස් ධ්‍යානයට පුරෝගාමී වන බැවිනු ත් මාර්ග ඵල අර්පනාවන්ගේ උපචාර අවස්ථායෙහි පවත්නා බැවිනු ත් ය.

නවසීවථික පබ්බය නිමි.

මෘත ශරීරය මෙන් ජීවත්වන ශරීරය ද අසුභ ම වේ

ඒ මෙසේයි:

1. “යථා පි පුප්ඵිතං දිස්වා - සිඞ්ගාලො කිංසුකං වනෙ

මංසරුක්ඛො මයා ලද්ධො - ඉති ගන්ත්වාන වෙගසා.”

.

2. “පතිතං පතිතං පුප්ඵං - ඩංසිත්වා අතිලොලුපො

නයිදං මංසං අදුං මංසං - යං රුක්ඛස්මින්ති ගණ්හති.”

මස් කෑමට සිවලා ඉතා ගිජු ය. එය ඌට ඉතා ප්‍රිය වූ රුචි වූ ආහාරයක් වූ බැවිනි. සිංහල අවුරුදු කාලය ලංවන විට කැලෑවේ තිබෙන එරබදු ගස්වල හැම අත්තකම වාගේ රතුපාට මල්, පොකුරු පොකුරු පිපෙති. එල්ලෙමින් තිබෙන ඒ රතු මල් පොකුරු දුටු සිවලා, මේ එල්ලෙමින් තිබෙන්නේ මස් පිඬු ය - මස් වැදලි ය - මස් පෙති ය යි වරදවා සිතා ගෙන මාංසයට ඉතා ගිජුවූ ඒ හිවලා ඉක්මනින් ඒ ගස ළඟට ගොස්, උඩ බලා කට ඇරගෙන සිටින විට වැටෙන වැටෙන එරබදු මල් හෝ මල් පෙති කටින් ඩැහැගෙන හපා “හෝ! හෝ! මෙය මස් නොවේ. අර ගසේ එල්ලෙමින් තිබෙන්නේ මස් ය” යි වරදවා සිතා නැවත ත් උඩ බලා කට ඇර ගෙන සිටින්නාක් මෙන්

3. “කොට්ඨාසං පතිතං යෙව - අසුභන්ති තථා බුධො

අග්ගහෙත්වාන ගණ්හෙය්‍ය - සරීරට්ඨම්පි නං තථා.”

ශරීරය මල කුණක් සේ අසුභ වස්තුවක් ය යි මෙනෙහි කරන ඤාණවන්ත යෝගී පුද්ගල තෙමේ ශරීරයෙන් පිටතට වැටෙන කෙළ, සෙම්, සොටු, අසුචි, මලමුත්‍ර කොටස් පමණක් නොව ශරීරයෙහි ඉතිරි ව තිබෙන කෙස්, ලොම් ආදී කොටස් සියල්ල ම පිළිකුල් මල කුණු සේ වටහා ගන්නේය.

කය සුභය යි සිතාගතහොත් අපාය දුකින් නො මිදෙයි.

4. “ඉමඤ්හි සුභතො කායං - ගහෙත්වා තත්ථ මුච්ඡිතා

බාලා කරොන්තා පාපානි - දුක්ඛා න පරිමුච්චරෙ.”

.

5. “තස්මා පස්සෙය්‍ය මෙධාවී - ජීවතො වා මතස්ස වා

සභාවං පූතිකායස්ස - සුභභාවෙන වජ්ජිතං.”

මේ කුණු කය සුභ වස්තුවක් ය යි මෝහයෙන් මුළා වී මෙන් තණ්හා, දිට්ඨි, මානයන්ගෙන් මෙය මම ය මාගේ ය, ඉතා සුභ ය යි තදින් අල්වාගෙන තෘෂ්ණාවෙන් මූර්ඡාවට පැමිණ පව්කරන බාලයෝ සසර දුකින් හා අපාය දුකිනුත් නො මිදෙන්නෝ ය.

එහෙයින් ජීවත්වන්නා වූ හෝ මැරුණා හෝ සුභ භාවයක් නැති මේ කුණු කයේ පවත්නා පිළිකුල් ස්වභාවය ඤාණවන්ත යෝගී තෙමේ සිහි නුවණින් බලන්නේ ය.

6. “දුග්ගන්ධො අසුචි කායො - කුණපො උක්කරූපමො

නින්දිතො චක්ඛු භූතෙහි - කායො බාලාභිනන්දිතො.”

මේ කය දුර්ගන්ධ ය. අසුචියක් ය. මල කුණක් වැනි ය. කසල ගොඩක් හෝ මල මුත්‍ර පිරුනු වැසිකිළියක් බඳු ය. ඥාණවන්තයන් විසින් නින්දා කරන ලද්දක්ය. එහෙත් අඥාන - අන්ධ බාල - මෝඩයන් විසින් මෙය ඉතා සුභ වස්තුවක් ය යි වැළඳ ගෙන ආස්වාද කරනු ලැබේ.

7. “අල්ලචම්ම පටිච්ඡන්නො - නවද්වාරො මහාවණො

සමන්තතො පග්ඝරති - අසුචි පූතිගන්ධියො.”

මේ කය තෙත් සමකින් වැසී පවතින්නේ ය. අසුචි වෑහෙන දොරටු නවයක් මෙහි ඇත්තේ ය. මෙය කුණු වූ මහ වණයක් වැනි ය. මේ කයින් කුණු ගඳ හමන අසුචි වැගිරෙන්නේ ය.

8. “සචෙ ඉමස්ස කායස්ස - අන්තො බාහිර කො සියා

දණ්ඩං නූන ගහෙත්වාන - කාකෙ සොණෙ නිවාරයෙති.”

මේ කය ඉතා පිළිකුල් නිසා ම මෙහි ඇතුළු පැත්ත පිටි පැත්තට හැරී තිබේ නම් ඒකාන්තයෙන් ම දඬු මුගුරු ගෙන කපුටන් බල්ලන් ආදී සතුන් එළවා දමන්ට සිදු වන්නේ ය.

ඉහත දැක් වූ සීවථික කොටස් නවය සැකෙවින් මෙසේය:

1. එකාහමතං වා යන ආදී කොටස ය.

2. කාකෙහි වා ඛජ්ජමානං යන ආදී කොටස ය.

3. අධිකසඞ්ඛලිකං සමංසලොහිතං නහාරු සම්බන්ධ යන ආදී කොටස ය.

4. නිම්මංස ලොහිත මක්ඛිත්තං නහාරු සම්බන්ධං යන ආදි කොටස ය.

5. අපගත මංස ලොහිතං නහාරු සම්බන්ධං යන ආදී කොටස ය.

6. අට්ඨිකානි අපගත සම්බන්ධානි යන ආදී කොටස ය.

7. අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණ පටිභාගානි යන ආදී කොටස ය.

8. පුඤ්ජකිතානි තෙරොවස්සිකානි යන ආදී කොටස ය.

9. පූතිකානි චුණ්ණකජාතානි යන ආදී කොටස ය යි සීවථික නවයකි.

සතිපට්ඨානයෙහි තුදුස් වැදෑරුම් කායානුපස්සනාව මෙතෙකින් සමාප්ත යි.

වේදනානුපස්සනාව

(සතිපට්ඨාන නිද්දෙසවාරයෙහි)

පාලි

කථඤ්ච භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති. ඉධ භික්ඛවෙ භික්ඛු සුඛං වා වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමීති පජානාති. දුක්ඛං වා වෙදනං වෙදියමානො දුක්ඛං වෙදනං වෙදියාමීති පජානාති. අදුක්ඛමසුඛං වා වෙදනං වෙදියමානො අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමීති පජානාති.

කෙටි අදහස

මහණෙනි! භාවනානුයෝගී තෙමේ අරමුණු රස අනුභව කරන - වේදනාවන් කෙරෙහි ඒ වේදනාවන් අනුව බලමින් වාසය කරන්නේ කෙසේ ද යත්?

මේ බුදු සසුනෙහි භාවනා කරන යෝගී තෙමේ සැප වේදනාව විඳිමින් සිටිය දී හෙවත් සැප වේදනාව විඳින කල්හි “සැප වේදනාවක් විඳිමි” ය යි දැන ගනී. දුක් වේදනාව විඳින කල්හි “දුක් වේදනාවක් විඳිමි” ය යි දැන ගනී. සැපත් නො වූ දුකත් නො වූ අදුක්ඛමසුඛ වේදනා නමැති උපේක්ෂා වේදනාව විඳින කල්හි “අදුක්ඛමසුඛ වේදනාවක් විඳිමි” ය යි දැන ගනී.

එහි විස්තරය

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ ඉහත කී තුදුස් (14) ආකාරයකින් කායානුපස්සනා සතිපට්ඨානය දක්වා වදාරා දැන් නව (9) ආකාරයකින් වේදනානුපස්සනාව දක්වනු සඳහා “කථ භික්ඛවෙ” යන ආදිය වදාළ සේක.

සුඛ වේදනාව

සුඛය හෝ සොම්නස වශයෙන් කයට හෝ සිතට සුව පහසුවක් දැක්වෙයි නම් එය සුඛ වේදනාව යි. එය වනාහි “සැපයි සැපයි” කියා හෝ “හොඳයි හොඳයි” කියා හෝ මෙනෙහි කළ යුතු ය. සුවපත් වුවහොත් ඒ බව දැන ගැනීම සඳහා වදාළ මේ බුද්ධ වචනය වනාහි විමසා බැලිය යුත්තකි. බුද්ධ මතය නො දන්නා - නො තේරෙන අයගේ දැනීම ඉතා ලුහුඬු ය. එහෙයින් අටුවා කථායෙහි ඒ නො දන්නා නො තේරෙන අයගේ ලුහුඬු දැනීම උපුටා දක්වා එහි තත්වය විනිශ්චය කරමින් එය බුද්ධ මතය අනුව විමසන ලදී.

ඒ මෙසේයි: උඩුකුරු ව සයනය කරන ළදරුවාට පවා තන පුඩුව උරා කිරි බොන කල්හි එය හොඳ සැප - ආස්වාදයක් බව දැන ගැනීම ඇති නොවන්නේ ද? මේ යෝගී පුද්ගලයාට ත් ඒ ළඳරුවාගේ දැනීමට සමාන දැනීමක් ඇති නො වන්නේද යත්? ඒ දෙදෙනාට ම දැන ගැනීමක් ඇති වන බව නම් සත්‍යයකි. එසේ වුවත් ළඳරුවාගේ හා යෝගී පුද්ගලයාගේ දැනගැනීම් දෙකකි. ඒ දෙක සසදා බලන කල්හි එකිනෙකට නො ගැළපෙන්නේ ය. ඒ එකිනෙක පිළිබඳ ලොකු ම පරතරයක් - වෙනසක් ඇත්තේ ය. කෙසේද යත්? ළදරුවා හෝ වේවා භාවනා නො කරන වැඩිමහල්ලා හෝ වේවා ඔවුන්ගේ දැනීම එක හා සමාන වෙයි. ඒ දැනීම් දෙක එකට සංසන්දනය වෙයි. භාවනා නො කරන නිසා සැප වේදනාව උපදින - උපදින වාරයක් පාසා එය නො දනිත්. දැන නො ගනිත්. වැඩි වශයෙන් සැප වේදනාවෙන් අනා වූ අරමුණු කල්පනා කරමින් කාලය ගත කරති. භාවනා නො කරන තැනැත්තා අතරතුර සැප වේදනාවක් විඳින බව දැන ගන්නා නමුත් එය ස්වභාව ධර්මයක් බව දැන නො ගන්නේ ය.

“මම සැප වේදනාවක් විඳිමි” යි යන වැරදි සංඥාව අනුව ම දැන ගන්නේ ය. එයින් මම ය - ආත්මය යන වැරදි හැඟීම දියුණු වන්නේ ය. සුඛ වේදනාව ක්ෂණ මාත්‍රයකින් ඇතිව නැති වන ස්වභාව ධර්මයක් බව දැන නො ගන්නේ ය. පෙර සිට නිතර ජීවත්ව සිටින මම ම දැනුත් සුවසේ මේ සුඛ වේදනාව විඳිමි” ය යි නිත්‍ය සංඥාවිපර්යාසයෙන් වරදවා දැන ගන්නේ ය.

මෙසේ ඇතිවන වැරදි හැඟීම නිසා සත්වයෙක් ය, මම ය යි වරදවා තදින් ගත් - සංඥාවිපර්යාසය

ද නො පහ කළ හැකි වෙයි. එපමණකුත් නො ව ඒ වැරදි හැඟීම තව තවත් වැඩි දියුණු වන්නේ ය. එහෙයින් ඒ දැන ගැනීම කර්මස්ථානයක් ද නො වේ. සතිපට්ඨාන භාවනාව ද නොවන්නී ම ය. ඒ නිසා “සුඛං වෙදනං වෙදියමනො සුඛං වෙදනං වෙදියාමි” ය යි වදාළ පරිදි සැප වේදනාව විඳිමින් සිටියදී සැප වේදනාවක් විඳිමි ය යි දැන ගැනීමට වදාළ මේ බුද්ධාවවාදය ළදරුවා ඇතුළු භාවනා නො කළ අය සඳහා නො දෙසූ සේක් ය යි දත යුතු ය.

නො කඩවා මෙනෙහි කරන යෝගාවචරයා වනාහි සුඛ වේදනාව උපදින - උපදින වරක් පාසා ද දැන ගන්නේ ය. ස්වභාව ලක්ෂණ - රස වශයෙනුත් සුඛ වේදනාව එක්තරා ස්වභාව මාත්‍රයක් ය යි දැන ගන්නේ ය. පෙර පසු සම්බන්ධයක් නොමැති ව අලුතෙන් - අලුතෙන් ඇති ව නැති ව යන බව ද නුවණැසින් අත්දැකීම් වශයෙන් දැක දැන ගන්නේය. එකල්හි එකක් යයි හෝ එක සන්තතියක් යයි වටහන - හැඟවීම ඇති කරවන - සන්තති ප්‍රඥප්තියෙන් වැසිය නො හැකි බැවින් හෝ මුවහ නො කළ හැකි බැවින් ඒ වේදනාව අනිත්‍ය වූවක් යයි ද දුකක් ය යි ද ආත්ම සාරයෙන් තොර වූවක් යයි ද පැහැදිලි ව දැන ග න්නේ ය.

එහෙයින්, කො වෙදයති, කවරෙක් විඳින්නේ ද? විඳින්නෙක් සිටිනවා ද? යන මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් විඳින්නෙක් නම් නැත; අලුතෙන් අලුතෙන් ඇතිව නැතිව යන විඳින-වේදනා නමැති ස්වභාව ධම් සන්තති මාත්‍රයක් ම ඇතැ යි නුවණැසින් පැහැදිලි ව දැක ගත හැකි වෙයි.

තවද කස්ස වේදනා, කාගේ වේදනාව (විඳීම) ක් ද? වේදනාවට අයිති කරුවෙක් සිටී ද? යන මේ ප්‍රශ්නයෙහි පිළිතුර වශයෙනුත් වේදනාව උපදවන කරුණු අනුව අලුතෙන් - අලුතෙන් සන්තති වශයෙන් හටගෙන පවත්නා විඳීම් මාත්‍රයක් ම ඇත, ඒ විඳීමට අයිති කරුවෙක් නැතැ යි යන දැන ගැනීම පැහැදිලි වෙයි.

තව ද කිං කාරණා වෙදනා, කවර කරුණකින් විදීම ඇති වන්නේ ද? යන මේ ප්‍රශ්නයෙහි පිළිතුරු වශයෙන් ද හොඳ - ඉෂ්ට අරමුණක් ලැබීම නිසා සැප වේදනා පහළ වන්නේ ය යි පැහැදිලි දැන ගැනීමක් ඇති වන්නේ ය.

මෙසේ පැහැදිලි ව දැනගන්න - යෝගී පුද්ගලයාගේ සම්පජඤ්ඤ ඤාණය සඳහා “සුඛං වෙදනං වෙදියාමි” ය යි වදාළ පරිදි සැප වේදනාවක් විඳිමි ය යි දැන ගැනීම දක්වන ලදී. මෙතන්හි විඳීම සැප වේදනාවක් ය. එය හොඳ විඳීමක් ය යන ආදි වශයෙන් දැන ගැනීම වූ කලි ගොචර සම්පජඤඤ ය යි. ඒ ගොචර සම්පජඤ්ඤය මෝරවා ගත් කල්හි ඉහත කී ප්‍රශ්න තුණ පැහැදිලි ව දැන ගන්නා අසම්මොහ සම්පජඤඤ්ඤය ධර්‍මනියාමය වූ පරිදි ඉබේට ම වාගේ පිරිසිදු ව පහළ වී එන්නේ ය. එහෙයින් අටුවායෙහි “වත්ථුං ආරම්මණං කත්වා වෙදනාව වෙදයතීති සල්ලක්ඛෙන්තො එස සුඛං වෙදනං වෙදයාමීති පජානාතී ති වෙදිතබ්බො” යි විනිශ්චය කරන ලදී.

එහි පදාර්ථ: වත්ථු , වේදනාව පිහිටා ඇති ස්ථානය වූ රූපාදී ඉෂ්ට අරමුණ: ආරමණ කත්වා, අරමුණු කොට; වෙදනා එව, වේදනාව ම; වෙදියතීති, විඳීයයි; සල්ලන්ඛෙතො එස, භාවනා නුවණින් සලකා බලන මේ යෝගී තෙම; සුඛං වෙදනං වෙදියාමීති. සැප වේදනාවක් විඳිමි යයි; පජානාති , දැන ගනී; ඉති, මෙසේ; වෙදිතබ්බො , දත යුතු ය.

දුක්ඛ වේදනාව

දුඃඛය හෝ දොම්නස වශයෙන් කයට හෝ සිතට සුව පහසුව නැති - දුකක් දැනෙයි නම් එය දුක්ඛ වේදනාව යි. රිදීම ය, කැක්කුම ය, දැවිල්ල ය, රත්වීම ය, උණුසුම් වීම ය, සීතල ය, හිරි වැටීම ය, ඇවිලිල්ල ය, කැසිල්ල ය, වෙහෙස ය යන මේ ආදී වශයෙන් කයෙහි පවත්නා දුක් වේදනා සියල්ල කායිකදුඛවේදනා නමි. ඒ දුක්ඛ වේදනාව වනාහි කයේ රිදුමක් ඇති වූ කල්හි රිදෙන තැනට ම සිත යොමුකොට “රිදෙනවා, රිදෙනවා” ය යි මෙනෙහි කළ යුතු ය. දැවිල්ලක් ඇති වුව හොත් “දැවෙනවා, දැවෙනවා” යයි ද කැසිල්ලක් නම් “කසනවා කසනවා” යයි ද සිය බසින් මෙනෙහි කළ යුතු ය. අන්‍ය ජාතිකයෙක් භාවනාවේ යෙදෙනවා නම් ඔහු සිය බසින් ම මෙනෙහි කළ යුතු ය. යම් යම් ආකාරයකින් දුක් වේදනාවක් දැනේ නම් ඒ ඒ ආකාරයෙන් මෙනෙහි කරනු මිස “වේදනාව යි වේදනාව යි” කියා මෙනෙහි කිරීම සුදුසු නැත. වේදනා යන මේ වචනය සුඛ, දුක්ඛ, උපෙක්ඛා යන වේදනා තුනට ම සාධාරණ වූ බැවිනි.

සිත නරක්වීම ය, සිත දූෂ්‍යවීම ය, දොම්නස ය, තරහවීම ය, අසතුටුවීම ය, ක්‍රෝධකිරීම ය, කෝපවීම ය, සිත උණුවීම ය, සිතේ දැවිල්ල ය, සෝක කිරීම ය, භයවීම ය, සිත කලකිරීම ය, සිත දුක්වීම ය යන මේ ආදී වශයෙන් සිතෙහි උපදනා දුක් වේදනා සියල්ල දොමනස්ස වේදනා නමි. එය ද “සිත නරක් වෙනවා සිත නරක් වෙනවා” යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතු ය.

උපෙක්ෂා වෙදනාව

දුකුත් නො වූ සැපත් නො වූ අදුක්ඛමසුඛ නමැති උපෙක්ෂා වේදනාව වනාහි භාවනා ඥානයෙන් වටහා ගැනීම - දැන ගැනීම ඉතා දුෂ්කර ය. අවිද්‍යාව සේ ඉතා අප්‍රකට බැවිනි. පොත පත ඉගෙනීම - අසා ගැනීම යන ආදී වශයෙන් ඇති වන-ශ්‍රැතමය ඥානයෙන් දැන ගැනීම නම්, දුෂ්කර නො වේ. අවිද්‍යාව ද ශ්‍රැතමය ඥානයට අප්‍රකට නො වේ. එහෙත් උපෙක්ෂාව හා අවිද්‍යාව යන දෙක ම භාවනාමය ඥානයෙන් අල්වා ගැනීම ඉතා අමාරුවෙන් කළ යුතු ය.

ඒ බව, “අදුක්ඛමසුඛා පත දුද්දීපනා, අන්ධකාරාව අවිභූතා, සා සුඛදුක්ඛාතං අපගමෙ සතාසාත පටික්ඛෙ පවසෙන මජ්ඣත්තාකාර භූතා අදුක්ඛමසුඛා වෙදනාති නයතො ගණ්හන්තස්ස පාකටා හොති” ය යි සක්ක පඤ්හ අටුවා- සතිපට්ඨාන අටුවාවන්හි කියන ලදී.

එහි අදහස:

සුඛ - දුක්ඛ වේදනා දෙක ප්‍රකට ය. ඒ නිසා ඒ දෙක පැහැදිලි ලෙස මෙනෙහි කළ හැකි ය. උපෙක්ෂා වේදනාව වනාහි අන්ධකාරයක් මෙන්-අන්ධකාරයෙහි ද පවතින්නා වස්තුවක් මෙන් අප්‍රකට ය. ඒ නිසා එය භාවනාමය ඥානයෙන් දැන ගැනීම ඉතා දුකසේ කළ යුත්තකි. එහෙත් සුඛ - දුක්ඛ වේදනා දෙක ඉවත් ව ගිය කල්හි පහසු ගති - අපහසු ගති දෙකින් තොර වූ මැදහත් ගතිය වූ උපෙක්ෂා වෙදනාව මෘග පදවලඤ්ජ න්‍යයායෙන් මෙනෙහි කරන යෝගී පුද්ගලයාහට ප්‍රකට වන්නේ ය.

මෘගපදවලඤ්ජන න්‍යාය :

දඩයමින් ජීවත්වන මුව වැද්දා මුවෙකුගේ පා සලකුණු අනුව ඒ මුවා පසු පස එලවා යන කල්හි විශාල ගල් තලාවක් දකින්නට ලැබී, එහි මේ පැත්තේ පා සලකුණු දැක ගල් තලාවේ එහා පැත්තට ගොස් බැලූ විට ඒ පැත්තේ ඇති පා සලකුණු දැක, ගල් තලාව උඩ පා සලකුණු නැතත් මුවා දුව ගොස් ඇත්තේ මේ ගල් තලාවේ මේ අසවල් පෙදෙසින් ය යි නය වශයෙන් දැන ගන්නේ ය.

මේ පැත්තේ ඇති පා සලකුණු මෙන් සුඛ වෙදනාවේ උත්පත්තිය ප්‍රකට වෙයි. එහා පැත්තේ ඇති පා සලකුණු මෙන් දුක්ඛ වේදනාවේ උත්පත්තිය ද ප්‍රකට වෙයි. මුවා මේ පැත්තෙන් නැගී මැදින් ගොස් එහා පැත්තෙන් බැස ගිය බව නය වශයෙන් දැන ගන්නාක් මෙන්, සුඛ දුක්ඛ වේදනා දෙක ඉවත්ව ගිය කල්හි පහසු - අපහසු ගති දෙකින් තොර වූ මැදහත් ආකාරයෙන් පවත්නා වේදනාව උපෙක්ෂ වේදනාව ය යි මෘග පදවලඤ්ජන න්‍යායයෙන් ගෙන මෙනෙහි කරන යෝගාවචරයා හට, උපෙක්ෂා වේදනාව ප්‍රකට වන්නී ය යි කීහ.

එහෙත් විදර්ශනා අරමුණ මෙනෙහි කරද්දී මුවා ගේ පා සලකුණු ගැන කල්පනා කරමින් සිටිය යුතු නො වේ. මෙතන්හි උපෙක්ෂව “අප්‍රකට ය, මෙනෙහි කිරීමට දුෂ්කර ය, යන කියමන ආදි කර්මික මන්දපඤ්ඤ යෝගී පුද්ගලයා සඳහා කියන ලදී. බලව විපස්සනා ඇති මන්දපඤ්ඤ යෝගී පුද්ගලයාහට සහ තික්ඛපඤ්ඤ යෝගී පුද්ගලයාහට ද උපෙක්ෂාව අරමුණු කර මෙනෙහි කිරීම දුෂ්කර නො වේ.

සාමිස සුඛය

පාලි

සාමිසං වා සුඛං වෙදනං වෙදියමානො සාමිසං සුඛං වෙදනං වෙදියාමීති පජානාති. නිරාමිසං වා සුඛා වෙදනං වෙදියමානො නිරාමිසං සුඛං වෙදනං වෙදියාමීති පජානාති.

කෙටි අදභස:

පඤ්ච කාම රස ආස්වාදය හා සම්බන්ධ වූ සාමිස සුඛ වේදනාව විඳිමින් සිටිය දී, කාම රසය සම්බන්ධ සාමිස සුඛ වේදනාව විඳිමි ය යි දැනගනී. පඤ්ච කාම රස ආස්වාදය හා සම්බන්ධ නො වූ නිරාමිස සුඛ වේදනාව විඳිමින් සිටිය දී, කාම රසය සම්බන්ධ නො වූ නිරාමිස සුඛ වේදනාව විඳිමි ය යි දැන ගනී.

සාමිස සුඛය:

තමාට වුවමනා කරන - තමා ආදරය කරන - තමා සතුටු කරවන අඹුසැමි, දූ පුතුන්, ඇඳුම් පැළඳුම්, කෑම් බීම්, රන් රිදී මුතු මැණික්, ඇත් අස් එළහරක් මීහරක් යන මේ ආදී බාහිර වස්තු ද තමාගේ ශරීරයෙහි ම ඇතුළත් රූප (වර්ණ) ය, චක්ඛු (ඇස) ය, වක්ඛු විඤ්ඤාණ (දැකීම) ය, සුඛ වෙදනා (සැප විඳීම) ය, සිහි නුවණ ය. මේ ආදී අභ්‍යන්තර වස්තු ද නිසා ඇති වන සතුට හෝ සොම්නස සාමිස සුඛ ය යි. එයට ම ගෙහසිත සොම්නස ය යි ද කියනු ලැබේ. එනම්:

කාම රසය, ඇසුරු කරන - එය පදිංචිව සිටින ගෙයක් වැනි සතුට ය, සොම්නස ය, සන්තෝෂ ය යි.

මේ සාමිස සුඛය වනාහි ලස්සන - සිත් ඇද ගන්නා ඔවුනොවුන් ප්‍රිය කරන වර්ණය හේතුකොට ගෙන අඹු සැමි ආදී කාම වස්තූන් කෙරෙහි සතුටු වන කල්හි රූපාරම්මණය අරමුණු කොට පවතින්නේ ය.

සිත පුබුදු කරවන - සිත නළවන - මිහිරි වචන ආදිය ඇසී ම හේතු කොටගෙන, අඹු සැමි ආදී කාම වස්තූන් කෙරෙහි සතුටු වන කල්හි ශබ්ද අරමුණු ආදිය අරමුණුකොට පවත්නේ ය. දැන් මෙකල්හි මෙබඳු කාම ගුණ වස්තූන්ගෙන් යුක්තව සිටීම නිසා ද ඉක්ම ගිය අතීතයෙහි භුක්ති විඳින ලද කාම ගුණ වස්තූන් මතක් වීම නිසා ද සතුට හෝ සොස උපදී. එවැනි සතුටක් - සොම්නසක් ඉපිද පවත්නා කල්හි “සතුටුයි සතුටුයි” කියා මෙනෙහි කරමින් එය දැන ගත යුතු ය. ඒ සඳහා “සාමිසං වා සුඛං වෙදනං වෙදියමනො සාමිසං සුඛා වෙදනං වෙදියාමීති පජානාති” ය යි වදාළ සේක.

නිරාමිස සුඛය

සදොරට වැටහී එනතාක් සවැදෑරුම් අරමුණු නො කඩවා මෙනෙහි කරන තැනැත්තාහට ඤාණය මේරූ කල්හි ඒ ස වැදෑරුම් ආරම්මණයන්ගේ ඇතිවීම හා නැතිවීම ප්‍රත්‍යක්ෂ කොට දැන ගත හැකි වන්නේ ය. ඒ ආරම්මණයගේ නිත්‍ය නො වන ආකාරය ද දැනගත හැකි වන්නේ ය. එකල්හි දක්නා ලද වර්තමාන අරමුණ සහ සසඳා බලා, පෙර හමු වූ විරූ අතීත අරමුණු සය ද “අනිත්‍ය වූ දුක් වූ පෙරලෙන ස්වභාව ඇත්තේ වූවාහු” ය යි දැන ගත හැකි වෙයි. මෙසේ දැන ගත් තැනැත්තාහට දැන ගැනීමක් - දැන ගැනීමක් පාසා සතුටු විය හැකි ය. මෙකී සතුට හෝ සොම්නස නිරාමිස සුඛ නම් වේ. එය ම කාම ගුණ රසාස්වාදය හා සම්බන්ධ නො වූ විදර්ශනාව හා සම්බන්ධ වූ සුඛය යි. එයට ම නෙක්ඛම්මස්සිත සොම්නස ය යි කියනු ලැබේ. එනම්, කාමයෙන් නික්මීම නිසා ඇති වන සොම්නස ය, සතුට ය.

එහෙයින්, “රූපානං වෙන අනිච්චතං විදිත්වා විපරිනාමං විරාගං නිරොධං පුබ්බෙ චෙව රූපා එතරහි ච, සබ්බෙ තෙ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති එවමෙතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතො උප්පජ්ජති සොමනස්සං, යං එව රූපං සොමනස්සං ඉදං වුච්චති නෙක්ඛම්මසිතං සොමනස්සං” ය යි සළායතන විභාග සුත්‍රයෙහි වදාරණ ලදී.

වර්ණායතන සංඛ්‍යාත වමාන රූපයන්ගේ අනිත්‍ය බව - ප්‍රකෘති ස්වභාවය අත්හැර පෙරලෙන බව කැඩෙන බිඳෙන බව - නිරුද්ධ වන බව දැන ගෙන ම, පෙර පැවති රූපයෝ ද දැන් පවත්නා වර්තමාන රූපයෝ ද යන මේ සියලු රූපයෝ “අනිත්‍යයහ. දුක්ඛයහ. ප්‍රකෘති ස්වභාවය අත් හැර පෙරලෙන ස්වභාව ඇත්තෝහ” යි මෙසේ මේ රූපය විදර්ශනා ඥානයෙන් ඇති සැටියෙන් දක්නා පුද්ගලයාහට යම් සොම්නසක් උපදනේද, මේ එබඳු සොම්නස නෙක්ඛම්මස්සිත සොම්නස ය යි කියනු ලැබේ යනු ඒ දේශනා පාඨයේ කෙටි තේරුම ය. ඒ පාඨයෙහි ෂඩාරම්මණයන් අතුරෙන් රූපාරම්මණය පමණක් ඇතුළත් වේ. එනම් වර්ණ මාත්‍රය යි. අනික් අරමුණු පස මෙනෙහි කරන ආකාරය සහ එයින් නෙක්ඛමස්සිත සෝමනස්සය උපදනා ආකාරය ද ඒ සූත්‍රයෙහි ම සඳහන් වී ඇත.

මෙකී සතුට හෝ සන්තෝෂය උදයබ්බය ඤාණය පහළ වූ මුල් කාලයෙහි පටන් නො වැළැක්විය හැකි සේ දියුණු තියුණු වී එන්නේ ය. ඒ සතුට ඇති වන වාරයක් පාසා “සතුටුයි සතුටුයි” කියා මෙනෙහි කළ යුතු ය. “නිරාමිසං වා සුඛං වෙදනා වෙදියමනො නිරාමිසං සුඛා වෙදනං වෙදියාමීති පජානාති” ය යි වදාළේ ඒ නිසා ය.

සාමිස දුක්ඛ වේදනාව

දැන් මෙකල්හි තමා විසින් කැමති වන ලද - ආදරය කරන ලද - තමාට වුවමනා කාම වස්තූන් නො ලැබීම ගැන කල්පනා කරන පුද්ගලයා හට “මා කාලකණ්ණියෙකි, අවාසනාවන්තයෙකැ” යි මතක් වන කල්හි අසතුට පහළ වන්නේ ය. දැන් මෙකල්හි පවත්නා දුක් පීඩා විඳීම කරදර විඳීම නිසා ඇතිවන අසතුට ද මෙහි ම ඇතුළත් වේ. පසුගිය කාලයෙහි තමාට වුවමනා වී තිබුණ කාම වස්තුන් නො ලැබී ගිය බව මතක් වීම නිසා ද අසතුට ඇතිවෙ යි. පසුගිය කාලයෙහි විඳින්ට සිදු වූ දුක් පීඩා කරදර මතක් වීමෙන් ඇති වන අසතුට ද මෙහි ම ඇතුළත් වේ.

මෙසේ තමාට වුවමනා කාම ගුණ වස්තුන් නො ලැබීම නිසා ඇති වන අසතුට - සිත නරක්වීම - පසුතැවිල්ල - දුක්වීම යන අමාරුකම් කොයිවත් සාමිස දුක්ඛ නම් වේ. මෙය ම ගෙහසිත දොම්නස්ස ද වේ. මේ දොම්නස උපදින වරක් පාසා ම “අසතුටුයි, අසතුටුයි” කියා මෙනෙහි කළ යුතු ය. සාමිසං වා දුක්ඛං වෙදනං වෙදියමානො සාමිසං දුක්ඛං වෙදනං වෙදියාමිති පජානාති” ය යි වදාළේ ඒ සඳහා ය.

නිරාමිස දුක්ඛ වෙදනාව

උදයබ්බය ඤාණය ආදි විදර්ශනා ඥාන විශේෂය ලබා ඇති පුද්ගලයා භාවනාවේ යෙදෙන කාලය දීර්ඝ වූ කල්හි, ආර්ය පුද්ගලයන් විසින් උපදවා ගතයුතු මාර්ග ඵල ධර්ම මා හට කවදා උපදවා ගත හැකිවේ දෝ යි සිතා ඉක්මනින් ප්‍රතිඵල ලබාගන්නා අදහස ඇතිවෙයි. එහෙත් වැඩි කල් භාවනා කළ නමුත් වුවමනා අදහස ඉටු නො වන කල්හි මාහට මේ භවයෙහි දී මාර්ග-ඵල නො ලැබෙනවා විය හැකි ය යි, කල්පනා කරමින් සිත දූෂ්‍යකර ගනී. වැඩි කාලයක් භාවනා කොට ද විදර්ශනා ඥාන විශේෂය වත් උපදවා ගන්ට නො හැකි වූ පුද්ගලයාහට ද මේ දුෂ්‍යතා ව පහළ විය හැකි ය. විදර්ශනාව සම්බන්ධයෙන් උපදින අසතුටක් වූ බැවින් මෙය නිරාමිස දුක්ඛවේදනා නම් වේ. එය නෙක්ඛම්මස්සිත දොම්නස නමුදු වෙයි. මෙසේ සිත නරක් වන වරක් පාසා “අසතුටුයි, අසතුටුයි’” කියා මෙනෙහි කළ යුතු ය. මේ දුක්ඛ වේදනාව උපදනා ආකාරය සක්කපඤ්හ සූත්‍ර අටුවායෙහි එන මහාසිව ස්වාමීන් වහන්සේගේ වස්තුවෙන් දතයුතු ය. එය සැකෙවින් මෙසේ යි:

මහාසිව වස්තුව:

ඒ මහා ස්ථවිර ස්වාමීන් වහන්සේ අටළොස් මහා ගණයට අයත් භික්ෂූන්ට ත්‍රිපිටක පර්යාප්ති ධර්මය ඉගැන්වූහ. උන්වහන්සේන්ගේ අවවාදයෙහි පිහිටි තිස් දහසක් භික්ෂූහු රහත් වූහ. ඒ රහත් භික්ෂූන් අතුරෙන් එක් භික්ෂුවක් “මා තුළ පවත්නා සීලාදී ගුණ ධර්ම අනන්තයහ. අප්‍රමාණයහ. මාගේ ආචාර්‍ය්‍යයන් තුළ පවත්නා ගුණ ධර්ම කොපමණදැ” යි නුවණින් විමසා බැලූ කල්හි තවමත් පෘථග්ජන භාවය නොඉක්ම වූ බව දැක “අහෝ! මාගේ ආචාර්ය තෙම අනුන්ට පිහිට වෙයි. මේ වනතෙක් තමාට පිහිට වන්ට නො හැකි විය. ඒ නිසා උන්වහන්සේ අවවාද කරනෙමැ” යි සිතා වහා ම අහසින් ගොස් ආචාර්යයන් වහන්සේ වැඩ වෙසෙන ආවාසය ළඟ දී, අහසින් බැස උන් වහන්සේ වෙත එළඹ වැඳ එකත් පසෙක ඉඳ ගත්තේ ය. එවිට “එම්බා පිණ්ඩපාතිකය! ඔබ මෙහි ආවේ කුමකටද” යි මහා ස්ථවිරයන් විසින් විචාළ කල්හි “අනුමෝදනා කථාවක් ඉගෙනීමට ය” යි කීවේ ය.

“ඇවැත්නි! මා මුලු දවසේ ම ඉගැන්වීමෙහි යෙදී සිටින බැවින් එයට වේලාවක් නැතැ” යි කීව්වේ ය.

“ස්වාමීනී! එසේ වී නම් විතක්කමාලකයෙහි දී විචාරන්නෙ මැ” යි කී කල්හි “එහි දී වෙනත් භික්ෂූහු ප්‍රශ්න අසත්” ය යි කීවේ ය. (මෙහි විතක්කමාලක යනු අද දින පිඬු සිඟා යා යුත්තේ කවර ගමකට හෝ නගරයකට දැ යි ටික වේලාවක් කල්පනා කරමින් සිටින තැන ය). ඉක්බිති, “පිඩු සිඟීමට යන අතර මග දී අසන්නෙ මැ” යි කී කල්හි, “එහිදීත් විචාරන්නෝ වෙත්” ය යි කීවේ ය. “එසේ වී නම්, ගම සමීපයට ගොස් සිවුරු පොරවන කල්හි, පාත්‍රය ලිහන කල්හි, ගමේ හැසිරී ආසන ශාලාවට ගොස් කැඳ වළඳා අවසන් වූ කල්හි අවකාශ තිබේදැ” යි ඇසී ය. එහි දී අර්ථකථාචාර්යවරයෝ “ප්‍රශ්න අසා සැක දුරු කර ගනිත්” ය යි කීවේ ය. එසේ නම්, පිඬු සිඟා ඇතුල් ගමින් නිමෙන කල්හි, ආරාමයට ආපසු එන අතර මග දී, ආරාමය තුළ පිහිටි භෝජන ශාලාවෙහි දන් වළඳා අවසානයෙහි දී, දවල් වැඩ ඉන්නා ස්ථානයෙහි දී, මුව සෝදන කල්හි, පා සෝදන කල්හි විචාරන්නෙ මැ” යි සැල කළ විට “එහි දී පමණක් නොව එතැන් සිට රාත්‍රිය මුලුල්ලෙහි ද පසු දිනයට අරුණ නගින තෙක් අන්‍යයෝ ප්‍රශ්න අසත්” ය යි කීවේ ය. “එසේ වී නම්. පසු දින උදෑසන දැහැටි වළඳා මුව සෝදන කල්හි, මුව සේදීමෙන් පසු සෙනසුන වෙත එන කල්හි, සෙනසුනෙහි ඉඳගත් කල්හි විචාරන මැ” යි පැවැසී ය. “ඒ හැම වේලාවක ම වෙන අය ප්‍රශ්ණ අසත් ය” යි. කීවේ ය. එවිට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ,

“භන්තෙ, නනු මුඛං ධොවිත්වා සෙනාසනං පවිසිත්වා තයො චත්තාරො පල්ලඞ්කෙ උසුමං ගාහාපෙත්වා යොනිසොමනසිකාරෙ කම්මං කරොන්තානං ඔකාස කාලෙන භවිතබ්බං සියා, මරණඛණම්පි න භවිස්සති, භන්තෙ, ඵලකසදිසත්ථ භන්තෙ පරස්ස අවස්සයො හොථ, අත්තනො භවිතුං න සක්කොථ, න මෙ තුම්හාකං අනුමොදනාය අත්ථො” ය යි කියා සෘද්ධි බලයෙන් අහසට නැගී ආපසු ගියහ.

එහි තේරුම:

“ස්වාමීනි! මුව සෝදා සෙනසුනට ඇතුල් ව තුන් හතර පර්‍ය්‍යඞ්යෙක්හි (එරමිණිය ගොතා ඉඳ ගැනීම් තුන හතරක) දී ආසනය උණුසුම් ගන්වා විදර්ශනා භාවනා කිරීමට කාල වේලාවක් වෙන්කර තබා ගත යුතු නො වන්නේ ද? නුඹ වහන්සේට මැරෙන්නට වත් අවකාශයක් නැහැ නෙව ද? ඒ නිසා මට නුඹ වහන්සේගේ අනුමෝදනා කථාවෙන් කම් නැත” යනු යි.

“ඒ භික්ෂුව මෙහි ආවේ මගෙන් ඉගෙනීමට නොව මා හට අවවාද දීම සඳහා ය” යි දැන මහාසිව හිමිතුමා පසුදින උදෑසන ම පාසිවුරු රැගෙන විදර්ශනා භාවනා වැඩීමට නික්ම ගියේ ය.

“මා වැන්නකුට රහත් ඵලය ඉපදවීම දුෂ්කර නො වේ. දෙතුන් දිනයකින් ම රහත් වී ආපසු එන්නෙමැ” යි සිතා ස්වකීය ශිෂ්‍යයන්ට වත් නො දන්වා ඇසළ මස පුරපස-තෙළෙස්වක් ද ගාමන්තපබ්භාර නමැති අරණ්‍ය සේනාසනයට ගොස් සක්මන් මලුවෙහි විදර්ශනා කමටහන් මෙනෙහි කරනුයේ එක් දවසකිනුත්, දෙදවසකිනුත් තුන් දවසකිනුත් රහත් වන්ට නොහැකි වී ය. උපොසථ දිනය පැමිණි කල්හි ද “මම දෙතුන් දිනයකින් රහත් වී ආපසු යන්නෙ මැ” යි සිතා ආයෙමි. එහෙත් ඒ අදහස ඉටු නොවී ය. ඉක්බිති වස් තුන් මස දින තුනක් සේ සිතාගෙන “මහා පවාරණ දිනය දක්වා භාවනා කරන්නෙමැ යි සිතා වස් සමාදන් ව සිට ද රහත් වන්ට නො හැකි වී ය” යි පවාරණ දිනයෙහි දී මෙසේ සිතුවේ ය. “දෙතුන් දිනයකින් රහත් වන්නේ මැ යි සිතා මෙහි ආවෙමි. තුන් මසකිනුත් නොහැකි විය. සබ්‍රහ්මචාරී භික්ෂුහු රහත් ව විසුද්ධි පවාරණය කෙරෙති. මට පමණක් නො හැකිවීය” යි මෙසේ සිතද්දී මහාසිව තෙරණුවන්ට කඳුළු වැගිරෙන්නට වූහ. ඉක්බිත්තෙන් “ඇඳේ සැතපීමට යාමෙන් පා සේදීම්, ඇඟ දිග හැරගෙන නිදා ගැනීම් ආදිය නිසා මාර්ග-ඵල ඉපිදවීම පමාවිය හැකි ය” යි සිතා ඇඳ ඔසවා තැබුවේ ය.

එවක් පටන් ඉඳීම, සිටීම, යෑම යන මේ ඉරියව් තුනෙන් ම භාවනා කෙළේ ය. වස් එකුන් තිස (29) ක් ගත වූ නමුත් රහත් වන්ට නො හැකි විය. ඒ එකුන් තිස් වස ඇතුළත ද හැම පවාරණ දිනයෙක්හි ම කඳුළු වැගිර වූහ. තිස් වෙනි වසෙහි පවාරණ දිනය ත් පැමිණියේ ය. එහෙත් තවමත් රහත්වන්ට නොහැකි වූ නිසා මෙසේ කල්පනා කෙළේ ය. “අහෝ! මට දැන් භාවනාව සඳහා තිස් වසක් ගතවීය. එහෙත් තවම රහත්වන්ට නොහැකි විය. ඒකාන්තයෙන් මට මේ භවයෙහි දී මාර්ගයක් ඵලයක් ලැබීමේ භාග්‍යයක් නැති විය හැකිදෝ! අහෝ! මා හට රහත්ව සබ්‍රහ්මචාරීන් භා සමග විසුද්ධි පවාරණය කරන්ට නො ලැබෙන්නේදෝ හෝ!” යි සිතමින් සිටිය දී බලවත් දොම්නසක් පහළ වීය. කඳුළු ධාරා ගලන්ට වූහ. එකල එක්තරා දෙව්දුවක් නො දුරු තැනෙක අඬමින් සිටියා ය. “මෙතැන අඬන්නේ කවුරුද” යි විචාළ කල්හි “ස්වාමීනි! අඬන්නී මම ය. දෙව්දුවය” යි කීවා ය. “කුමක් හෙයින් අඬන්නෙහි දැ” යි ඇසී ය. “ස්වාමීනි! භාවනා කරන නුඹ වහන්සේ අඬමින් සිටිනු දැක මම ද අඬමින් මාර්ග ඵල එකක් දෙකක් පමණ උපදවා ගන්නෙමැ යි සිතා අඬමි” ය යි කීවා ය. ඊට පසු තෙරුන් වහන්සේ සිහි නුවණ මෙහෙයවා තමාට ම අවවාද කර ගනිමින් “එම්බා මහාසිව! මේ බලන්න, දෙවුදුවක් පවා ඔබ හා සමග කෙළිකවට බස් කියයි, මෙසේ කඳුළු වැගිර වීම ඔබට සුදුසු නො වන්නේ නෙව දැ” යි තමාට ම අවවාද කරගෙන විදර්ශනා වඩා දොම්නස දුරු කොට සිවු පිළිසිඹියා සහිත රහත් බව ලබාගත් සේක.

මෙහි දී සැලකිය යුත්තක් ඇත. එනම්, මේ මහාසිව ස්වාමීන් වහන්සේට ශ්‍රැත ගුණය (උගත් කම) අධික ව – විස්තර නය ක්‍රමයෙන් භාවනා කළ නිසා ප්‍රතිඵල ලැබීමට මෙතරම් කාලයක් ගතවී ය යි කිව යුතු ය. සැරියුත් හිමියන්ට මුගලන් හිමියන්ට වඩා භාවනාව සඳහා කාලය ගතවූවාක් මෙනි.

එහෙයින් “එත්තකං කාලං විපස්සනාය සුචිණ්ණ භාවතො ඤාණස්ස පරිපාකං ගතත්තා” යි කියන ලදී. අවුරුදු තිසක් වූ මෙපමණ කාලයක් මුලුල්ලෙහි විදර්ශනාවෙහි ඉතා හොඳ පළපුරුද්දක් ලබාගෙන ඤාණය මෝරවා ගත් බැවින් රහත් ඵලයට පැමිණිය හැකිවිය යනු එහි අදහස යි.

මේ ටීකා කියමනෙන් ද විස්තර නය ක්‍රමයෙන් වැඩිය යුතු විදර්ශනා ඥානයේ මේරූ අවස්ථාව ම ගත යුතු ය. මහාසිව හිමියන්ට ලැබුනේ සාමාන්‍ය රහත් බව නොව ඉතා උසස් සිවුපිළිසිඹියා ඥාණය සහිත විශේෂ රහත් බව ය. සංක්ෂේප නයින් රහත් විය හැකි පාරමිතා ඤාණය වනාහි ත්‍රිපිටක පර්‍ය්‍යාජතිධාරී වූ මෙතරම් බහුශ්‍රැත පුද්ගලයෙකුට භාවනාව අරඹන්ට පෙර සිට ම ඇතිවිය යුතු ය. අපේ බෝසතාණන් වහන්සේට සුමේධ තාපසකාලයේ දී ම රහත් වීමට සෑහෙන ශ්‍රාවක පාරමිතා ඥානය සම්පුර්ණ ව තිබුනාක් මෙනි.

සාමිස අදුක්ඛමසුඛය

විදර්ශනා භාවනා නො කරන-අන්ධ පෘථග්ජනයාට තමාගේ ශරීරය තුළ හෝ ශරීරයෙන් පිටත හෝ ප්‍රිය ද නො වූ අප්‍රියද නො වූ කාම ගුණ වස්තුවක් දකින්ට - අසන්ට - ඉඹ බලන්ට - රස බලන්ට - ස්පර්ශ කරන්ට - සිතා බලන්ට ලැබුනු කල්හි ඒ පිළිබඳ සතුටක් හෝ අසතුටක් ප්‍රකට ව නො දැනේ නම් ඒ කාම වස්තුව අත් හරින්ටත් නො හැකිවේ නම් ඇත්ත වශයෙන් ම ඒ කාම අරමුණු කෙරෙහි ආශාව උපදවන ලෝභය හා සමග හොඳ නො හොඳ දෙකට ම ඇතුළත් නො වන විඳීමක් පහළ වන්නේ ය. ඒ මැදහත් විඳීම සාමිස අදුක්ඛමසුඛ නම් වේ. එය ගෙහසිත උපෙක්ඛා නමුදු වේ. එයට අඤ්ඤාණ උපෙක්ඛා ය යි ද කියනු ලැබේ. එනම්, මෝහය සමග පවත්නා උපේක්ෂාව විදර්ශනා යෝගී පුද්ගලයාහට ද අතරතුර ඇති විය හැකි ය. එසේ ඇති වුවත් ඉහත දැක් වූ පරිදි ම අප්‍රකටව ම පැවතිය හැකි ය. එය දැන ගැනීම දුෂ්කර ය. ප්‍රකට වූ කල්හි ඒ උපේක්ෂාව මෙනෙහි කොට දැන ගැනීම සඳහා “සාමිසං වා අදුක්ඛම සුඛං වෙදනං වෙදියමානො සාමිසං අදුක්ඛම සුඛං වෙදනං වෙදියාමීති පජානාති” ය යි වදාරණ ලදී.

නිරාමිස අදුක්ඛමසුඛය

විදර්ශනා උපක්ලේශයන් කෙරෙන් පිරිසිදු වූ කල්හි වැටහෙනතාක් සවැදෑරුම් අරමුණු මෙනෙහි කිරීමක් පාසා දැනගන්නා විදර්ශනා ඥානය හා එකට යෙදෙන මැදහත් විඳීම ප්‍රකට ව පහළ විය හැකි ය. එය භංග ඤාණය තියුණු වූ කාලයෙහි පටන් විශේෂයෙන් ප්‍රකට වන්නේ ය. සංඛාරුපෙක්ඛාඤාණයෙහි දී වනාහි අතිශයින් ම ප්‍රකට ව ඇති විය හැකි ය. මේ මැදහත් විඳීම නිරාමිස අදුක්ඛමසුඛ නම් වේ. එය නෙක්ඛම්මසිත උපෙක්ඛා නමුදු වේ. එය නැවත මෙනෙහි කරන පටිවිපස්සනාවෙන් මෙනෙහි කර දැන ගැනීම සඳහා “නිරාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමි” ය යි වදාරණ ලදී.

සමුදය - වය දැන ගන්නා ආකාරය

බාහිර අරමුණු සහ ආධ්‍යාත්ම - බාහිර අරමුණු දැන ගන්නා ආකාරය කායානුපස්සනාවෙහි කී සේ මැයි. අරමුණු රස විඳින වේදනාව අරමුණු කරමින් මෙනෙහි කිරීමක් - මෙනෙහි කිරීමක් පාසා වේදනාව ඇති වෙමින් නැති වෙමින් පවත්නා බව දැනගැනීම සමුදය වයධම්මානුපස්සනාවය.

ප්‍රිය අරමුණක් හමුවීමෙන් සුඛ වේදනා උපදින බව හා ප්‍රිය අරමුණ හමු නොවී මෙන් එය නුපදින බව ද අප්‍රිය අරමුණක් හමුවීමෙන් දුක්ඛ වේදනාව උපදින බව හා අප්‍රිය අරමුණ හමු නො වීමෙන් එය නුපදින බව ද ප්‍රිය ද අප්‍රිය ද නො වූ මැදහත් අරමුණක් හමු වීමෙන් උපේක්ෂා වේදනාව උපදින බව ද මැදහත් අරමුණ හමු නො වීමෙන් එය නූපදින බව ද කර්‍ම-අවිද්‍යා-තෘෂ්ණාවන් ඇති වීමෙන් වේදනාව ඇති වන බව හා කර්‍ම ආදිය නැති වීමෙන් වේදනාව නැති වන බව දැන ගැනීම සිදු වන බව දක්වනු සඳහා “සමුදය වයධම්මානුපස්සී වෙදනාසු විහරති” යන ආදිය වදාරණ ලදී.

සතිය වැටහෙන ආකාරය

අරමුණු රස විඳීම් ස්වභාවය වූ වේදනාව මෙනෙහි කිරීමක් පාසා මෙහි ඇත්තේ සත්වයෙකුත් නොවේ. මම ය යි ගත යුත්තෙක් ද නොවේ. මට අයිති දෙයකුත් නොවේ. ස්ත්‍රියක් ද නොවේ. පුරුෂයෙක් ද නොවේ. සැප වේදනා-දුක් වේදනා-මැදහත් වේදනා රැසක්ම මෙහි ඇතැයි සිහි කරන-සති (සිහි) ය පහළ වෙයි. එවිට සණ්ඨාන ප්‍රඥප්තිය අතුරුදහන් වීමෙන් විඳීම් ස්වභාවය වූ වේදනා මාත්‍රයක් ම ඇතැයි සිහි කරවන නිසා මතුමත්තෙහි ද සිහිය හා නුවණ පිළිවෙළින් දියුණු වී එන්නේ ය. එවිට තණ්හා දිට්ඨි දෙකින් වේදනාව මම ය මාගේ ය යි තදින් අල්වා නො ගනී. එහෙයින් “අත්ථි වෙදනාති වා පනස්ස සති පච්චුපඨිතා හොති” යන ආදිය වදාළ සේක.

වේදනානුපස්සනාව නිමි.

3. චිත්තානුපස්සනාව

(සතිපට්ඨාන නිද්දේසවාරයෙහි)

පාලි

කථඤ්ච භික්ඛවෙ භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති, ඉධ භික්ඛවෙ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති.

කෙටි අදහස

මහණෙනි, යෝගී තෙමේ සිතෙහි සිත අනුව බලන සුළු වූයේ කෙසේ වාසය කරයි ද? මහණෙනි! මේ බුදු සසුනෙහි භාවනානුයෝගී පුද්ගල තෙම රාගය සහිත සිතක් ඇති වුවහොත් එය රාග සහිත සිතක් ය යි දැන ගනී. රාගය නැති සිතක් හෝ ඇති වුවහොත් එය රාගය නැති සිතක් ය යි දැන ගනී.

එහි විස්තරය

මෙසේ සුඛ, දුක්ඛ, උපෙක්ඛා, සාමිස සුඛ, නිරාමිස සුඛ, සාමිස දුක්ඛ, නිරාමිස දුක්ඛ, සාමිස උපෙක්ඛා, නිරාමිස උපෙක්ඛා ය යි නව ආකාරයකින් වේදනානුපස්සනා සතිපට්ඨානය දේශනා කොට වදාරා ඉක්බිති සොළොස් ප්‍රභේදයකින් චිත්තානුපස්සනාව වදාරනු පිණිස “කථඤ්ච භික්ඛවෙ භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී” යන ආදිය වදාළ සේක.

එහි විස්තරය

අරමුණට ගිජු වීමෙන් සිත එහි තදින් අලවන ස්වභාවය රාග ය යි. එය ම ආසාව ය, තණ්හාවය, ලෝභය, ප්‍රේමය, ආලය යන ආදී නම්වලින් ද හඳුන්වනු ලැබේ. තමාට වුවමනා කරන යම්කිසි දෙයක් ලැබේවා යි බලාපොරොත්තු වන කල්හි ලෝභ සිත් අට අතුරෙන් යම්කිසි සිතක් ඇති වේ. එය රාගය හා සමග එක් ව යෙදී උපදින බැවින් සරාග සිත ය යි කියනු ලැබේ. එවැනි සිතක් උපන් කල්හි කාම රසයෙහි සිත අලවන “රාග සිතක් ඇති වෙනවා, රාග සිතක් ඇති වෙනවා” ය යි මෙනෙහි කළ යුතු ය. මෙසේ කීප වරක් මෙනෙහි කිරිමෙන් ම ඒ රාග සිත දුරුවේ යි. නැති වෙයි. එසේ නැති නො වුවහොත් නැවත නැවත ද රාග සිත උපදින, උපදින වරක් පාසා “යස්මිං යස්මිං බණෙ යං යං චිත්තං පවත්තති, තං තං සල්ලක්ඛිතො චිත්තෙ චිත්තානුපස්සී විහරති” ය යි අටුවාවෙහි කී පරිදි යම් යම් ක්ෂණයෙක් හි යම් යම් සරාගාදි සිතක් උපදී නම් ඒ ඒ ක්ෂණයෙහි උපදනා ඒ ඒ සරාගාදී සිත මෙනෙහි කරන යෝගි තෙමේ චිත්තානුපස්සී (සිත අනු ව බලන්නේ) නම් වේ.

පාලි

සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති,

වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති.

සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති,

වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති.

සඞ්ඛිත්තං වා චිත්තං සඞ්ඛිත්තං චිත්තන්ති පජානාති,

වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති.

මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති,

අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති.

ස උත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති,

අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති.

සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති,

අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති.

විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති,

අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.

කෙටි අදහස

ද්වේෂය සහිත සිත ද්වේෂය සහිත සිතක් ය යි දැනගනී. ද්වේෂය නැති සිත ද්වේෂය නැති සිතක් ය යි දැනගනී. මෝහය (මුළාවීම්) සහිත සිත මෝහය සහිත සිතක් ය යි දැනගනී. මෝහය නැති සිත මෝහය නැති සිතක් ය යි දැනගනී. හැකුලුනා වූ සංක්ෂිප්ත සිත හැකුලුනා වූ සංක්ෂිප්ත සිතක් ය යි දැනගනී. විසිර යන වික්ෂිප්ත සිත විසිර යන වික්ෂිප්ත සිතක් යයි දැනගනී. මහග්ගත (රූපාවචර අරූපාවචර) ධ්‍යාන සිත මහග්ගත ධ්‍යාන සිතක් ය යි දැනගනී. මහග්ගත නො වන කාමාවචර සිත මහග්ගත නො වන කාමාවචර සිතක් ය යි දැනගනී. එයට වඩා උසස් සිතක් ඇති නිසා සඋත්තර නම් වූ සිත සඋත්තර සිතක් ය යි දැනගනී. එයට වඩා උසස් සිතක් නැති නිසා අනුත්තර නම් වූ සිත අනුත්තර සිතක් ය යි දැනගනී. උපාචාර සමාධි-අර්පණා සමාධි වලින් එකඟ වූ සමාහිත සිත සමාහිත සිතක් ය යි දැනගනී. තදඞ්ග වික්කම්භන වශයෙන් කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ විපස්සනා සිත හෝ ධ්‍යාන සිත විමුත්ත සිතක් ය යි දැනගනී. තදඞ්ග - වික්ඛම්භන වශයෙන් කෙලෙසුන් කෙරෙන් නොමිදුනා වූ අවිමුත්ත සිත අවිමුත්ත සිතක් ය යි දැනගනී.

එහි විස්තරය

තරහ සිතක්, ක්‍රෝධ සිතක්, සැඩ පරුස සිතක්, දූෂ්‍ය සිතක්, අනුන්ට හිංසා පීඩා කරන්ට ඕනෑය යන සිතක් උපන් කල්හි ද්වේෂය හා සමග එකට යෙදී උපදින ඒ සිතට සදොස සිත ය යි කියනු ලැබේ. සිත දුෂ්‍ය කරවන සිත කිලිටි කරවන, සිත නරක් කරවන එවැනි ක්‍රෝධ සිතක් - ද්වේෂ සිතක් උපන් කල්හි “දුෂ්‍ය සිතක් ඇති වෙනවා, දුෂ්‍ය සිතක් ඇති වෙනවා” “ක්‍රෝධ සිතක් ඇති වෙනවා, ක්‍රෝධ සිතක් ඇති වෙනවා” “තරහ සිතක් ඇති වෙනවා, තරහ සිතක් ඇති වෙනවා” යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතු ය.

මෙසේ කීප වරක් මෙනෙහි කිරීමෙන් ඒ ක්‍රෝධ සිත - තරහ සිත නැති වෙයි, දුරුවෙයි. නැවත නැවතත් ක්‍රෝධය, තරහය ඇතිවුවහොත් එය ඇතිවන - ඇතිවන වාරයක් පාසා ඒ සිත මෙනෙහි කළ යුතු ය. එවිට “තරහසිත-ක්‍රෝධ සිත අභාවයට පැමිණෙයි, නැති වෙයි.” ඊට පසු ක්‍රෝධ නැති - තරහ නැති හොඳ සිත් පරම්පරාවක් ඇතිවන්ට පටන් ගනී. එයට වීතදොස සිත ය යි කියනු ලැබේ. එවිට ද්වේෂය නැති - ක්‍රෝධය නැති, “තරහ නැති හොඳ සිතක් ඇතිවෙනවා, හොඳ සිතක් ඇති වෙනවා” ය යි මෙනෙහි කළ යුතු ය. “සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති, වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති.” ය යි වදාළේ එසේ මෙනෙහි කිරීමට ය.

සැක සහිත සිත හා චංචල සිත ද තනිකර මෝහ හේතුව හා සමග පවත්නා බැවින් සමොහ සිත් ය යි කියනු ලැබේ.

ප්‍රකට නැති ආසාවෙන් කාම වස්තූන් අරමුණු කරමින් කල්පනා කරන සිත් ය, මානයෙන් උඩඟු වූ වූ සිත් ය, ආත්මයක් ඇතැයි වැරදි හැඟීම් සහිත සිත් ය යන මේ සිත් සියල්ල ලෝභ මූලික සිත් ය.

භයින් තැති ගන්නා සිත් ය, සෝකයෙන් තැවෙන සිත් ය, උණුසුම් සිත් ය, හෘදය වස්තුව උණුකර වන සිත් ය, සැනසිල්ලක් නැති සිත් ය, පසුතැවෙන සිත් ය, ඊෂ්‍යා සිත් ය, මසුරු සිත් ය, යන මේ සිත් සියල්ල දෝස මූලික සිත් ය. (ලෝභ මූල සිත් සියල්ල ම සරාග සිත් ය, දෝස මූල සිත් සියල්ල ම සදොස සිත් ය, අකුසල් සිත් සියල්ල සමොහ සිත් ය යි අටුවාවෙහි දක්වා තිබේ. මෙහි වනාහි යෝගාවචරයාහට මෙනෙහි කිරීමට පහසු වන පරිදි ප්‍රකට ව දැනෙන ආකාරයෙන් සිත් බෙදා දක්වන ලදී.)

මුළා වන ගතිය වූ මෝහයෙන් යුත් මේ සමෝහ සිත් සියල්ල යම් යම් අයුරකින් ඉපදුන හොත් ඒ ඒ අයුරින් මෙනෙහි කළ යුතු ය. මේ මෝහ සිත් පහව ගිය විට උපදනා පැහැදිලි - නොමුළා සිත් සියල්ල වීතමෝහ සිත් ය යි කියනු ලැබේ. ඒ වීතමෝහ සිතක් ඉපදුන හොත් ඉපදුනු ආකාරයෙන්ම මෙනෙහි කළ යුතු ය. “සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති, වීතමොහං වා චිත්ත වීතමොහං චිතන්ති පජානාති” ය යි වදාළේ එසේ මෙනෙහි කිරීමට ය.

පසුබහින, හැකිලෙන, කම්මැලි සිත සංඛිත්ත සිත ය. වික්ෂිප්තවන - එකඟ නොවන, චංචල සිත, වික්බිත්ත සිතය. එකඟවන සිත සමාහිත සිත ය. එකඟ නොවන සිත අසමාහිත සිත ය. භාවනා අරමුණු මෙනෙහි කරන සිත තදඞ්ග විමුක්තියෙන් කෙලෙසුන් කෙරෙන්

මිදෙන බැවින් විමුත්ත සිත ය. භාවනා අරමුණක් මෙනෙහි නොකොට කෙලෙස් උපදවන අරමුණු කල්පනා කරන සිත කෙලෙසුන් කෙරෙන් නො මිදෙන බැවින් අවිමුත්ත සිත ය.

තවද මහග්ගත චිත්තය හා සසඳා බලන කල්හි කාමාවචර චිත්තය සඋත්තර සිත ය යි කියනු ලැබේ. ඒ චිත්තය හා සසඳා බලන කල්හි මහගත චිත්තය සඋත්තර චිත්ත ය යි කියනු ලැබේ. එසේ ම අරූපා වචර චිත්තය හා සසඳන කල්හි කාමාවචර හා රූපාවචර චිත්තය සඋත්තර චිත්ත ය යි කියනු ලැබේ. ඒ දෙසිත භා සසඳන කල්හි අරූපාවචර චිත්තය අනුත්තර චිත්ත ය යි කියනු ලැබේ. ඇත්ත වශයෙන් කිවහොත් අනුත්තර යන නාමය ලෝකෝත්තර චිත්තයට ම අයත් වේ. එහෙත් ලෝකෝත්තර චිත්තය විදර්ශනාවට අරමුණු වන ස්වභාව ධර්මයක් නො වේ. එහෙයින් මේ සතිපට්ඨාන විපස්සනා භාවනාවෙහි දී එකී ලොකෝත්තර චිත්තය අනුත්තර චිත්තය වශයෙන් නො ගැනෙ යි. මහග්ගත, අමහග්ගත, සඋත්තර, අනුත්තර චිත්තයන් පිරිසිඳ දැන ගැනීම වනාහි ධ්‍යානලාහී පුද්ගලයාහට ම අයත් වූවකි. ඒ ධ්‍යානලාහී පුද්ගලයා ම ධ්‍යනයාගේ පෙර පසු දෙපසෙහි වූ සිත් සියල්ල අමහග්ගත සිත ය යි ද සඋත්තර සිත් ය යි ද දැනගනී. ධ්‍යානයෙන් නැගිටීම හා සමග ම එම ධ්‍යන සිත මහග්ගත සිත යයි ද, අනුත්තර සිත ය යි ද දැන ගනී. රූප ධ්‍යානයෙන් නැගිට අරූපධ්‍යානයට සමවදනා කල්හි ඒ රූප ධ්‍යාන සිත සඋත්තර සිත ය යි ද, අරූප ධ්‍යාන සිත අනුත්තර යයි ද පිරිසිඳ මෙනෙහි කොට දත හැකි වන්නේ ය. එහෙයින් ධ්‍යාන නො ලැබූ යෝගී පුද්ගලයා විසින් ධ්‍යාන සිත් හැර සෙසු සිත් ම උපදනා, උපදනා කල්හි තමාට ප්‍රකට ව වැටහෙන හැටියෙන් ම මෙනෙහි කළ යුතු ය. “සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති” යන ආදිය වදාළේ ඒ සඳහා ය.

ඉහත දැක්වූ නය ක්‍රමයෙන් උපදනා, උපදනා සිත මෙනෙහි කරමින් සිතේ පවත්නා නියම ස්වභාවය වූ පරිදි දැන ගැනීම ම චිත්තානු පස්සනා නම් වේ.

සැලකිය යුත්තක්: ලෝභ මූල සිත් අට සරාග සිත් ය යන ආදී වශයෙන් ලෝභ මූල සිත් ය, සරාග සිත් ය යන නාම ප්‍රඥප්තිය හා ඒ සිත් අටක් ය යන සංඛ්‍යා ප්‍රඥප්තිය කල්පනා කරමින් සිටීම චිත්තානු පස්සනා භාවනාව නො වේ. එහෙයින් අටුවාවෙහි “යස්මිං යස්මිං බණෙ යං යං චිත්තං පවත්තති තං තං සල්ලක්ඛෙන්තො චිත්තෙ චිත්තානු පස්සී” ය යි කියන ලදී. යම් යම් ක්ෂණයෙක්හි යම් යම් සිතක් පවතී නම් එය මෙනෙහි කරන යෝගී පුද්ගලයා චිත්තානුපස්සී නම් වේ යනු එහි තේරුම යි.

විජානන ලක්ෂණය: උපදිමින් පවත්නා සිත උපදනා උපදනා කල්හි අරමුණ දැන ගන්නවා, අරමුණ ගන්නවා, අරමුණ දකිනවා, ඇහෙනවා, ගඳ හෝ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ඇඟේ හැපෙනවා යන ආදිය දැන ගනී. මෙය සිත ලක්ෂණ වශයෙන් දැන ගැනීම ය.

පුබ්බඞ්ගම රසය: සිත අරමුණ ගන්න කල්හි එය හා එකට යෙදෙන නාම ධර්මයන්ගේ පෙරමුණෙහි ගමන් කරන ආකාරයෙන් යෝගී පුද්ගලයා හට වැටහේ. මෙය සිත කෘත්‍ය වශයෙන් දැන ගැනීම ය.

සන්ධානපච්චුපට්ඨානය: එක සිතකට අනතුරුව එක සිතක් එකිනෙකට සම්බන්ධව ඇතිවෙමින් පවත්නා බව යෝගී පුද්ගලයා දැන ගන්නේ ය. මෙය සිත පච්චුපට්ඨාන වශයෙන් දැන ගැනීම ය.

නාමරූපපදට්ඨානය: එස්ස වේදනා, නිස්සය වත්ථු, ආරම්මණ යන නාම රූප ධර්මයන් නිසා සිත ඇති වන්නේ ය යි දැන ගනී. මෙය සිත පදට්ඨාන වශයෙන් දැන ගැනීම ය.

විදර්ශනා අරමුණ

විදර්ශනා ඥානය සඳහා භාවනා කරන යෝගී පුද්ගලයා විසින් පරමාර්ථ ප්‍රඥප්ති දෙක අතුරෙන් පරමාර්ථ නාම රූප ධර්මයන් ම මෙනෙහි කළ යුතු ය. ප්‍රඥප්තිය මෙනෙහි නොකළ යුතු ය. පරමාර්ථ නාම රූපයන් අතුරෙන් ද ලෞකික ධර්මයන් පමණක් මෙනෙහි කළ යුතු ය. ලෝකෝත්තර ධර්ම මෙනෙහි නොකළ යුතු ය. කුමක් හෙයින් ද යත්? ලොකොත්තර ධර්ම නුපදවා ගත් බැවිනි. පෘථග්ජනයාහට ඒ ලෝකෝත්තර ධර්මයන් ස්වභාව ලක්ෂණ වශයෙන් වැටහෙන්නේ නැත. ආර්යය පුද්ගලයන්ට ඒ ලෝකෝත්තර ධර්ම ඇති සැටියෙන් දත හැකි වුවත් එය මෙනෙහි කිරීමෙන් වැඩක් නැත. එය එසේ මැ යි. ලෞකික ධර්මයන් මෙනෙහි කිරීමෙන් ඒ ධර්මයන් කෙරෙහි පවත්නා නිත්‍ය ය, සැපය, ආත්ම ය යන වැරදි හැඟීම දුරු කළ හැකි ය. ලෝකෝත්තර ධර්මයන් තුළ වනාහි එවැනි කෙලෙස් උපදින ගතියක් නැත. ඒ නිසා ලෝකෝත්තර ධර්මයන් මෙනෙහි කළ නමුත් ක්ලේශ ප්‍රහානයක් නො වන්නේ ය. එහෙයින් “අනධි ගතත්තා” ය යි විසුද්ධිමග්ගයෙහි කියන ලදී. පෘථග්ජනයා විසින් ලෝකෝත්තර ධර්‍ම උපදවා නොගත් බැවින් එය මෙනෙහි නොකළ යුතුය යන අදහස යි. දික්සඟි මහාවග්ග අටුවාවෙහි“අවිසයත්තා, විසයත්තෙපි ච ඵලාභාවතො” ය යි කියන ලදී. පෘථග්ජනයාහට ලොවුතුරු දහම් අරමුණු නොකළ හැකි බැවින් ද, ආර්ය පුද්ගලයාහට එය අරමුණු කළ හැකි වුවත්, එයින් වැඩක් නොවන නිසා ද මෙනෙහි නො කළ යුතුය යනු එහි තේරුම යි.

ප්‍රත්‍යක්ෂවිදර්ශනා, අනුමානවිදර්ශනා ය යි විදර්ශනාව දෙවැදෑරුම් වේ. ඔවුන් අතුරෙන් උත්පාදයට පැමිණි නාම රූප දෙක අතින් අල්ලා ඇසින් බලන්නාක් මෙන් ඤාණයෙන් දැක ගැනීම ප්‍රත්‍යක්ෂ විදර්ශනා නම් වේ. මේ ප්‍රත්‍යක්ෂ විදර්ශනාවෙන් ඇතිව නැතිවන නාම රූප ධර්මයන්ගේ නියම ස්වභාව ලක්ෂණය ද ඇති සැටියෙන් දත හැකි ය. ඇතිවීම නැතිවීම යන අනිත්‍ය ලක්ෂණ ආදිය ද ඇති සැටියෙන් දත හැකි ය. එහෙයින් විපස්සනා යෝගී පුද්ගලයා විසින් විදර්ශනා භාවනාව ආරම්භ කළ තැන් සිට, අනුලෝමඤාණය ඇතිවන තෙක් මේ ප්‍රත්‍යක්ෂ විදර්ශනාව ම නොනවත්වා වැඩි දියුණු කළ යුතු ය. නාමරූපපරිච්ඡේදඤාණය ආදී ඥාණ පරම්පරාවගේ වශයෙන් ප්‍රත්‍යක්ෂ විදර්ශනාව දියුණු තියුණු වූ කල්හි ප්‍රත්‍යක්ෂව දැන නො ගත් නාම රූපයන් ද, ප්‍රත්‍යක්ෂව දැනගත් නාම රූපයන් හා සසඳා මෙනෙහි කළ හැකි ඤාණය පහළ වන්නේ ය. මේ ඤාණය අනුමාන විදර්ශනාව යි. මේ ඤාණය අධ්‍යාත්ම, බාහිර, අතීත, අනාගත, වර්තමාන වූ ලෞකික ධර්ම සියල්ල ම අරමුණු කර යි. එහෙත් ප්‍රත්‍යක්ෂ විදර්ශනාව මෙන් නාම රූප යන්ගේ ස්වභාව ලක්ෂණ ආදිය ඇතිවන, නැතිවන සැටියෙන් අරමුණු කරමින් දැනගත නො හැකි වෙයි. එය විශේෂ වෑයමකින් වැඩිය යුතු ඥාණයකුත් නොවන්නේ ය. ප්‍රත්‍යක්ෂ ඤාණය තියුණු වූ කල්හි ඉබේට ම වාගේ පහළ වී එන ඤාණයකි. එහෙයින් මෙතැන් සිට ප්‍රත්‍යක්ෂ ඥානයාගේ අරමුණු ම බෙදා දක්වනු ලැබේ.

ලෞකික ධ්‍යානයන් අතුරෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය ධ්‍යානය ලබාගත් මුල් අවස්ථාවෙහි ඒ ධ්‍යාන ලාභී පුද්ගලයා හට, එම ධ්‍යානය ඉතා සියුම් වු බැවින් එය මෙනෙහි නොකළ හැකිය. සැරියුත් හිමියන්ට පවා එය හොඳින් ප්‍රකට නොවන බව අනුපද සූත්‍රයෙහි සඳහන් ව ඇත. මහද්ගත ධර්මයන් මෙනෙහි කළ හැක්කේ ධ්‍යාන ලාභී පුද්ගලයා හටම ය. ඒ ධ්‍යාන නො ලැබූ පුද්ගලයා හට මෙනෙහි නො කළ හැකිය. කුමක් හෙයින් ද යත්? තමාගේ සන්තානයෙහි නූපන් ධර්මයන් ස්වභාව ලක්ෂණ වශයෙන් නො වැටහෙන බැවිනි. මෙහි දී “අනධිගතත්තා” යනුවෙන් නො ලැබූ බැවින් ලොවුතුරු දහම් මෙනෙහි නොකළ යුතුය යන අටුවා කියමන වූ පරිදි විමසිය යුතු ය. එහෙයින් මහා ටීකාවෙහි “ලාභිනො යෙව මහග්ගත චිත්තානි පාකටානි හොන්ති” යි කියන ලදී. ධ්‍යාන ලාභී පුද්ගලයා හට ම මහද්ගත සිත් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් මෙනෙහි කළ හැකි පරිදි හොඳින් ප්‍රකට වෙත් යනු එහි අදහස යි.

ඒ නිසා ධ්‍යාන නො ලැබූ පුද්ගලයා විසින් මහද්ගත ධර්ම මෙනෙහි නො කළ යුතු ය. කාමාවචර ධර්ම ම මෙනෙහි කළ යුතු ය. එහෙත් කාමාවචර ධමයන් කෙරෙහි ප්‍රත්‍යක්ෂ ඥානය මෝරවා ගත් කල්හි මහද්ගත ධර්මයන් කෙරෙහි ද, අනුමාන ඥාණය ඇතිවිය හැකි බැවින් “මෙනෙහි කළ යුතු සංස්කාර ඉතිරිව ඇතැයි” නො වැටහෙන්නේ ම ය. කාමාවචර ධර්මයන් අතුරෙන් ද ප්‍රකට වූ නාම රූප ධර්ම ම මෙනෙහි කළ යුතු ය.

රූප ධර්මයන් මෙනෙහි කරන කල්හි ඒකාන්ත පරමාර්ථ ලක්ෂණය ප්‍රකට ව පවත්නා ප්‍රසාද රූප 5 ය, විසය රූප 7 ය, භාව රූප 2 ය, ආපෝධාතු 1 ය, හදය රූප 1ය, ආහාර රූප 1 ය, ජීවිත රූප 1 ය, යන මේ රූප අටළොස (18) කර්ම චිත්ත ඍතු ආහාරයන්ගෙන් උපද වන බැවින් නිෂ්පන්න රූප නමි. ඒකාන්ත පරමාර්ථ රුප්පන ලක්ෂණයෙන් යුක්ත බැවින් රූප රූප නමි. උප්පාද, ඨිති, භඞ්ග යන සඛ්‍යාත ලක්ෂණයෙන් යුක්ත බැවින් සලක්ඛණ රූප නමි. විදර්ශනා වශයෙන් මෙනෙහි කිරීමට සුදුසු බැවින් සම්මසන රූප නමි. එහෙයින් “රූප රූපානි යෙව හි ඉධ පරිග්ගය්හන්ති, න රූප පරිච්ඡේද විකාර ලක්ඛණානි” යි මහා ටීකාවෙහි කියන ලදී.

විදර්ශනා අවස්ථායෙහි නිප්පන්න, සලක්ඛණ, සම්මසන නමැති රූප රූප අටළොස (18) ම ඤාණයෙන් අල්වාගෙන මෙනෙහි කරනු ලැබෙත්. රූපයන් පිරිසිඳින ආකාස ධාතුව ය, කාය විඤ්ඤත්ති, වචීවිඤ්ඤත්ති, රූප ලහුතා, රූප මුදුතා, රූප කම්මඤ්ඤතා යන විකාර රූප 5 ය, උපචය, සන්තති, ජරතා, අනිච්චතා යන ලක්ඛණ රූප 4 ය යන මේ අනිෂ්පන්න රූප දස (10) ය මෙනෙහි නොකරනු ලැබෙත් යනු එහි අදහස ය.

චිත්ත චෛතසිකයන් අතුරෙනු දු රහතුන්වහන්සේ තුළ පවත්නා කිරිය ජවන් සිත් පෘථග්ජනයාට හා සෝවාන් ආදී සෙක්ඛයන්ටත් මෙනෙහි කළ නොහැකි ය. පෘථග්ජනයාගේ සහ සෙක්ඛයන්ගේ ප්‍රත්‍යක්ෂ විදර්ශනාවට අරමුණුවන සිත්, සියල්ල මතු දැක්වෙන පරිදී දත යුතු ය.

එනම්, අකුසල් සිත් දොළොස (12) ය. හසිතුප්පාදය හැර ඉතිරි අහේතුක සිත් සතළොස (17) ය. මහා කුසල් හා මහා විපාක සිත් සොළොස (16) ය යන මේ සිත් පන්සාළිස (45) හා එහි යෙදෙන චෛතසික දෙපනස (52) ද, ඉහත කී නිෂ්පන්න රූප අටළොස (18) ද යන මෙයින් යම්කිසි එකක් ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රකට වන සේ මෙනෙහි කළ යුතු ය.

එයිනුත් චිත්තානුපස්සනාවෙහි දී මෙනෙහි කළ යුත්තේ ඉහත දැක් වූ සිත් පන්සාළිසෙන් ඒ ඒ අවස්ථාවෙහි ප්‍රකට ව දැනෙන සිතකි.

පාලි

ඉති අජ්ඣත්තං වා චිත්තෙ චිත්තානුපස්සී විහරති, බහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති.

සමුදය ධම්මානු පස්සී වා චිත්තස්මිං විහරති, වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති, සමුදය වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති.

අත්ථි චිත්තන්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඥාණ මත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු විත්තේ චිත්තානු පස්සී විහරති.

කෙටි අදහස

මෙසේ තමාගේ සිතෙහි ද සිත අනුව බලමින් වාසය කර යි. අනුන්ගේ සිතෙහි ද සිත අනුව බලමින් වාසය කර යි. ඇතැම් විටක තමාගේ සිතෙහි ද ඇතැම් විටක අනුන්ගේ සිතෙහි ද සිත අනුව බලමින් වාසය කරයි.

සිතේ උපදවන ප්‍රත්‍යය සහ ඉපද වීම අනුව බලමින් වාසය කර යි. සිතේ වැයවීමේ ප්‍රත්‍යය හා වැයවීම අනුව බලමින් වාසය කරයි. උපදවන ප්‍රත්‍යය හා ඉපදීමත් වැයවීමේ ප්‍රත්‍යය හා වැයවීමත් අනුව බලමින් වාසය කර යි.

මෙහි සිත පමණක් ඇත. සත්ත්වයෙක් පුද්ගලයෙක් නැතැ යි ඒ යෝගී පුද්ගලයාහට සිහිය එළඹ සිටියා වෙයි. එය පිළිවෙළින් ඤාණය වැඩිදියුණු වීම පිණිස ම වෙ යි. පිළිවෙළින් සිහිය වැඩි දියුණු වීම පිණිස ම වෙ යි.

වැඩි දියුණු වූ සිහිය හා ඥාණය ඇති ඒ යෝගී තෙම තණ්හා දිට්ඨි දෙකින් තොරව ද වාසය කර යි. උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ කිසිවක් මම ය මාගේ ය යි තණ්හා දිට්ඨි දෙකින් තදින් අල්ලා නොගනී. යෝගී තෙමේ මෙසේ ද සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.

සමුදය වය දෙක දැනගන්නා ආකාරය.

අධ්‍යාත්ම බාහිර සිත් දැනගන්නා ආකාරය කායානුපස්සනාවෙහි කී සේ මැයි. මෙනෙහි කිරීමක් මෙනෙහි කිරීමක් පාසා පහළ වී එන චිත්ත යන්ගේ ක්ෂණයක් පාසා ඇතිව නැතිව යන ස්වභාවය දැන ගැනීම, සමුදය වය දැන ගැනීම ය යි කියනු ලැබේ. සිත හා එක් ව යෙදෙන චෛතසික නාමර්ධම සහ, සිත ඇසුරු කරන රූප ධර්ම ද යන මේ නාම රූපයන් නිසා සිත ඇතිවෙයි. ඒ නාම රූපයන් නැතහොත් සිත ඇති නොවේ ය යි කියා ද, පුර්ව කර්මය නිසා සිත ඇතිවෙයි. ඒ කර්මය නැතහොත් සිත ඇති නොවෙයි. අවිද්‍යාව නිසා සිත ඇතිවෙයි. අවිද්‍යාව නැතහොත් සිත ඇති නො වෙයි. තණ්හාව නිසා සිත ඇතිවෙ යි. තණ්හාව නැතහොත් සිත ඇති නොවෙයි කියා ද මෙසේ දක්නා ලද, අසන ලද කරුණු අනුව මෙනෙහි කිරීමෙනුත් සිත දැන ගැනීම සිදුවෙයි. “සමුදය ධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති” යන ආදිය වදාළේ ඒ සඳහා ය.

සතිය උපදින ආකාරය

නිතර ඇති වෙමින් පවත්නා සිත කමටහන් අරමුණක් වශයෙන් මෙනෙහි කිරීමක් - මෙනෙහි කිරීමක් පාසා මෙහි පුද්ගලයෙක් ය. සත්වයෙක් ය. මම ය. මාගේ ය. ස්ත්‍රියක් ය. පුරුෂයෙක් ය යි ගත යුතු හරයක් නැත. රූපාදී අරමුණු සිතන, අරමුණු දැනගන්නා සිත පමණක් ඇතැයි, සිහි කරන සති (සිහි) ය පහළ වෙයි. මෙසේ සංස්කාර ඝන නිමිත්ත ය යි කියන ලද සණ්ඨාන (සටහන) ප්‍රඥප්තිය ඉක්ම ගොස් අරමුණු සිතන, දැන ගන්නා සිත පමණක් ඇතැයි සිහි කරවන, වැටහීම උපදවන සතිය පහළ වෙයි. ඒ සතිය මතුමත්තෙහි ද සතිය හා ඥාණය වැඩි දියුණු වීමට උපකාර වෙයි. ඉක්බිති සිත ඇතුළු ස්කන්ධ ශරීරය මම ය මාගේ යයි තදින් ගන්නා තණ්හා දිට්ඨි කෙලෙස් ද දුරුවෙ යි.

චිත්තානුපස්සනාව නිමි.

ධම්මානුපස්සනාවේ (1) නීවරණ පබ්බය

මෙසේ සොළොස් ආකාරයකින් චිත්තානුපස්සනාව දේශනා කොට වදාරා දැන් විසි ආකාරයකින් ධම්මානුපස්සනාව දක්වනු පිණිස “කථඤ්ච භික්ඛවෙ” යන ආදිය වදාළ සේක.

නොහොත් භාග්‍යවතුන් වහන්සේ විසින් කායානුපස්සනාවෙන් තනිකර රූප ධර්මයන් පිළිබඳ විදර්ශනාව ද, වෙදනානුපස්සනා චිත්තානුපස්සනා දෙකින් තනිකර අරූප ධර්මයන් පිළිබඳ විදර්ශනාව ද වදාරා, දැන් රූප අරූප ධර්මයන්ගේ මිශ්‍රක විදර්ශනාව දක්වනු පිණිස “කතඤ්ච භික්ඛවෙ” යන ආදිය වදාළ සේක.

නොහොත් කායානුපස්සනාවෙන් රූප ස්කන්ධය ද, වෙදනානුපස්සනාවෙන් වෙදනාස්කන්ධය ද, චිත්තානුපස්සනාවෙන් විඤ්ඤාණ ස්කන්ධය ද විදර්ශනා වශයෙන් දක්වා, දැන් සංඥාස්කන්ධන සංස්කාරකන්ධයන් ද විදර්ශනා වශයෙන් දක්වනු පිණිස, “කථඤ්ච භික්ඛවෙ” යන ආදිය වදාළ සේක.

පාලි

“කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති. ඉධ භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු.ඉධ භික්ඛවෙ භික්ඛු සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං අත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දොති පජානාති. අසන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං නත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දොති පජානාති. යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස

මහණෙනි! යෝගී තෙමේ සත්වයෙක් පුද්ගලයෙක් නො වන නාම රූප ස්වභාව ධර්මයන් කෙරෙහි ස්වභාව ධර්ම අනුව බලන සුලු වූයේ කෙසේ වාසය කර යි ද? මහණෙනි! බුදුසසුනෙහි භාවනානුයෝගී පුද්ගල තෙම පස් වැදෑරුම් නීවරණ ධර්මයන් කෙරෙහි ස්වභාව ධර්ම අනුව බලන සුලුව වාසය කර යි. මහණෙනි, බුදු සසුනෙහි භාවනානුයෝගී පුද්ගලතෙම පස්වැදෑරුම් නීවරණ ධර්මයන් කෙරෙහි ස්වභාව ධර්ම අනුව බලන සුලුව කෙසේ වාසය කරයි ද? මහණෙනි! මේ සසුනෙහි භාවනා කරන යෝගී පුද්ගල තෙම තමා තුළ කාමච්ඡන්දය (බලවත් කාමරාගය) ඇති වුවහොත් දැන් මගේ සිත තුළ කාමච්ඡන්දය ඇතැ යි දැන ගනී. තමා තුළ කාමච්ඡන්දය නැතහොත් දැන් මගේ සිත තුළ කාමච්ඡන්දය නැතැයි දැන ගනී. යම් අයෝනිසෝමනසිකාරයක් නිසා නූපන් කාමච්ඡන්දය උපදී නම් ඒ අයෝනිසෝ මනසිකාරය ද දැන ගනී. යම් යෝනිසෝ මනසිකාරයක් නිසා උපන් කාමච්ඡන්දය පහව යි නම් ඒ යෝනිසෝමනසිකාරයත් දැන ගනී. තදඞ්ග විෂ්කම්භන වශයෙන් පහ වූ කාමච්ඡන්දය යම් ආර්ය මාර්ගයක් නිසා මතු නූපදී නම් ඒ ආර්ය මාර්ගය ත් දැන ගනී.

එහි විස්තරය:

කාම අරමුණු හෝ කාම වස්තූන් ලබා ගැනීමට බලාපොරොත්තු වී ම ය. එය ආස්වාද කිරීමය, එහි සිත ඇලවීම ය. එයට ආදරය කිරීමය, ප්‍රිය කිරීමය යන මේ බලවත් කාම රාගය -කාම ආසාව කාමච් ඡන්ද ය යි කියනු ලැබේ. මේ කාමච්ඡන්දය උපදනා වාරයක් පාසා “කාම ආසාව ඇති වෙනවා, කාම ආසාව ඇති වෙනවා” යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතු ය. මෙසේ කිප වරක් මෙනෙහි කිරීමෙන් ඒ කාමච්ඡන්දය සංසිඳී යන්නේ ය. “සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං අත්ථි මේ අජ්ඣත්තං කාමච්ඡන්දෙති පජානාති” ය යි වදාළේ එසේ මෙනෙහි කිරීමට ය.

කාමච්ඡන්දය ඇතිවීමේ කරුණු

සමථ විදර්ශනා භාවනාවෙන් තොර ව වාසය කරන කල්හි, ඇස කණ ආදී සදොරට හමුවන රූප ශබ්ද ආදී අරමුණු නිත්‍ය වශයෙන් හෝ, සැප වශයෙන් හෝ, ආත්ම වශයෙන් හෝ, සුභ වශයෙන් හෝ විපරීතව වැටහී එන්නේ ය. එවිට ඒ අරමුණු නුනුවණින් මෙනෙහි වීම අයෝනිසෝමනසිකාර ය යි. හැම අකුසලයකට ම මූල කාරණය වනුයේ මේ අයෝනිසෝමනසිකාරය මැ යි. රූප ශබ්ද ආදිය තමා ගේ සිත සතුටු කරවන - සිත අලවන - සිත ප්‍රිය කරවන සුභ අරමුණ ලෙස කල්පනා කිරීම කාමච්ඡන්දය ඇතිවීමට ප්‍රධාන කරුණකි.

මුල දී නො තිබුණු කාමච්ඡන්දය වනාහි නුසුදුසු ලෙස නුනුවණින් කල්පනා කරන මේ අයෝනිසෝමනසිකාරය නිසා ම උපදනේ ය යි, යෝගී පුද්ගල තෙම මේ අයෝනිසෝමනසිකාරය ද අත් දැකීම් වශයෙන් ප්‍රකට කර දැන ගනී.

“අයෝනිසො මනසිකාරො නාම අනුපායමනසිකාරො, උප්පථ මනසිකාරා අනිච්චේ නිච්චන්ති වා, දුක්ඛෙ සුඛන්ති වා, අනත්තනි අත්තාති වා, අසුභෙ සුසන්ති වා මනසිකාරො.” (සතිපට්ඨාන අටුවාව)

අයෝනිසෝමනසිකාරය නම්, තමා බලාපොරොත්තුවන - තමාට වුවමනා කරන - දියුණුවට හෝ සැප සම්පත්වලට හේතු නොවන වැරදි මගින් මෙනෙහි කිරීම යි. නිත්‍ය නොවන ඇය කෙරෙහි නිත්‍යය යි කියා හෝ සැප නො වන දැයෙහි සැපය යි කියා හෝ ආත්මයක් නැති දැයෙහි ආත්මයක් ඇතැයි කියා හෝ සෝභන නොවන දැයෙහි සුභය යි කියා හෝ මෙනෙහි කිරීම යි.

එනම්, සදොරට හමුවන නාම රූප හැම එකක්ම නිතර පවත්නා එකක් වශයෙනුත්, සැප ඇති එකක් වශයෙනුත්, තමාට ඕනෑ හැටියට පවත්වා ගත හැකි හරසර ඇති එකක් වශයෙනුත්, හොඳ ලස්සන සුභ දෙයක් හැටියට ත් මෙනෙහි කිරීම අයෝනිසෝමනසිකාරය යි.

නිත්‍යය, සැපය යන ආදී වශයෙන් වැටහීම ප්‍රකට නැතත් සදොරට හමුවන නාම රූප ධර්මයන් කමටහන් වශයෙන් මෙනෙහි නො කිරීම, විදර්ශනා විෂයෙහි අයෝනිසෝමනසිකාරය මැයි. කුමක් නිසාද යත්? එසේ නො මගින් මෙනෙහි කිරීම කෙබඳු දැ යි සලකා බලන කල්හි නිත්‍යය, සැපය යන ආදී වශයෙන් මෙනෙහි කළ බව ප්‍රකට වන බැවිනි. ප්‍රකට වන සැටි මෙසේයි දන්නා කල්හි “දකිනවා” ය යි මෙනෙහි නො කිරීම නිසා ඒ දැකීම් මාත්‍රයෙහි නො නැවතී දැකීම ඉක්මවා ගියහොත් දකිනු ලැබුවේ අසුවලාය, ඔහු මීට පෙරද සිටියේ ය. මේ දක්වා ම ඔහු සිටිනවා ය යි ද, දුටුවාට පසුව ද ඔහු අසුවල් දෙසට ගියේ ය. දැනට ඔහු අසුවල් තැන හෝ අසුවල් ගෙදර ඇත. දුටුවා වූ මම ම දැන් ඔහු ගැන කල්පනා කරමින් සිටිමි,

යන ආදී වශයෙන් ද මෙනෙහි කිරීම සිදුවන්නේ ය. මෙය නිත්‍ය වශයෙන් මෙනෙහි වීමය. ස්ත්‍රියක දකිමි, ඇය සුවසේ වසයි, ඇය දකින්නට ලැබීම වාසනාවකි. මෙසේ සැප වශයෙනුත් මෙනෙහිවීම සිදුවන්නේ ය.දකිනු ලැබූ තැනැත්තා සහ දැකීමත් පුද්ගලයෙක්ය. මමය. සත්ත්වයෙක්ය යන මේ වශයෙන් ද මෙනෙහි වීම සිදුවන්නේ ය. දකිනු ලැබූ තැනැත්තා ලස්සනය සෝභන ය යි මෙනෙහි විය හැකි ය.

එහෙත් ඒ තැනැත්තා ගැන අනිත්‍යය, දුක්ඛ, අනාත්මය, අසුභය යි මෙනෙහි නො විය හැකි ය. ඒ දැකීම මාර්ග ඵලයට ත් පැමිණීමට හේතු නොවේ. එහෙයින් කමටහනින් තොර ව සිතට ඕනෑ හැටියට සිතාමතා ක්‍රියා කරන්ට ඉඩ හැරීම ඒකාන්ත විදර්ශනා මාර්ග ඵලයන්ට බාධා කරන අයෝනිසෝමනසිකාරය යි. හැම අකුසලයක් ම මේ අයෝනිසෝමනසිකාරය නිසා ඇති වෙයි. මෙහි දී පසු පසු චිත්ත වීථිවල උපදනා අකුසල් වලට හේතුව සෙවීමේ දී පුර්ව පුර්ව චිත්ත වීථිවල හටගන්නා ආවර්ජනය සහ ජවන් රැස අයෝනිසෝමනසිකාරය යි සැලකිය යුතු ය. එක් වීථියක වූ අකුසලයගේ හේතුව සෙවීමේ දී ආවර්ජනය ම අයෝනිසෝමනසිකාරය යි සැලකිය යුතු යි. පෘතග්ජනයා වනාහි බොහෝ සෙයින් අකුසල් උපදවන අරමුණු ම බලාපොරොත්තු වෙයි. එහෙයින් සදොරට හමු වන හැම එකක් ම හමු වූ වහාම එය තමා ප්‍රිය කරන අරමුණක් දෝ ප්‍රිය නො කරන අරමුණක් දෝ හෝයි මෙනෙහි කරන්නාක් මෙන් උපදනා ආවර්ජන සිත, නො මගින් මෙනෙහි කරමින් පළමුකොට උපදී. යකුන්ට භයවන තැනැත්තාහට රාත්‍රි කාලයෙහි භය ජනක ශබ්ද ඇසෙන වරක් පාසා යකෙක් දෝ හෝ යි කල්පනාව ඇති වන්නාක් මෙනි. මිතුරෙකු දකිනු කැමැති තැනැත්තා දකිනු ලබන හැම කෙනෙක් ම තමාගේ මිත්‍රයා දෝ හෝ යි සිතන්නාක් මෙනි. පඤ්චද්වාරයෙහි හමු වන ඒ අරමුණේ සැටියට සම්පටිච්ඡන සන්තීරණ සිත් පහළ වූ පසු වොත්ථපන සිත එය ප්‍රිය අරමුණක් ය යි කියා හෝ අප්‍රිය අරමුණක් ය යි කියා හෝ විනිශ්චය කර යි. එහෙයින් ලෝභ ජවන්, දෝස ජවන්, මෝහ ජවන් අතුරෙන් යම්කිසි අකුසල් ජවනයක් උපදනේ ය.

මනෝද්වාරයෙහි ද ප්‍රිය අරමුණක්ය අප්‍රිය අරමුණය යන ආදී වශයෙන් ආවර්ජන චිත්තය විසින් මෙනෙහි කළ සැටියට අකුසල් ජවන් පහළ විය හැකිය. මේ දැක් වූයේ අයෝනිසෝමනසිකාරය නිසා අකුසල් ඇති වන ආකාරය යි.

යෝනිසෝමනසිකාරය

කුසල් උපදින සේ සුදුසු පරිදි මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාරය යි. මෙතන්හි ගැනෙනුයේ විදර්ශනාව පිළිබඳ යෝනිසෝමනසිකාර ය යි. එනම්, ඇතිවෙමින් පවත්නා නාමරූප ධර්මයන් ස්වභාව ලක්ෂණ වශයෙනු ත් ඇති වී ම හා නැතිවීම යන අනිත්‍ය ලක්ෂණ ආදී වශයෙනුත් මෙනෙහි කිරීම හා මෙනෙහි කොට දැන ගැනීම යෝනිසෝමනසිකාරය යි. ප්‍රත්‍යක්‍ෂ ඥානය මෝරවා දියුණු කරගත් කල්හි ප්‍රත්‍යක්ෂ කොට නොදක්නා ලද නාම රූප ධර්මයන් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දක්නා ලද නාම රූපයන් හා සසඳා මෙනෙහි කොට හැකි වීම හෝ විනිශ්චය කරන්ට හැකි වීම යෝනිසෝමනසිකාරය මැ යි. මතු මතු විදර්ශනා ඥාන විශේෂයන්ට හා මාර්ග ඵලයන්ටත් උපකාරීවන නියම මාර්ගය වු උපාය මනසිකාර ය යි. එහෙයින් අටුවාවෙහි:

“යෝනිසෝමනසිකාරො නාම උපාය මනසිකාරො, පථමනසිකාරො, අනිච්චෙ අනිච්චන්ති වා දුක්ඛෙ දුක්ඛන්ති වා අනත්තන්ති අනත්තාති වා අසුභෙ අසුභන්ති වා මනසිකාරො.” ය යි කීහ.

එහි අදහස

යෝනිසෝමනසිකාරය නම් දුක් සංසිඳ වීමට උපකාරී වන නියම නය ක්‍රමය අනුව මෙනෙහි කිරීමය. හරි මගින් මෙනෙහි කිරීමය. උපදිමින් නැසෙමින් පවත්නා නිත්‍ය නො වන වස්තුන්වෙහි අනිත්‍ය ය යි කියා හෝ එය ම භයට හේතුවන බැවින් දුකය යි කියා හෝ එහි ම ආත්මසාරයක් නැති හෙයින් අනාත්මය යි කියා මහා අසෝභන වූ කුණු සිරුරෙහි අසුභය යි කියා හෝ නුවණින් මෙනෙහි කිරීම ය.

විපස්සනා වඩන යෝගී පුද්ගලයාගේ අදහස විය යුත්තේ විදර්ශනා ඥාන විශේෂයන් හා මාර්ග ඵලයන් උපදවා ගැනීමය. එයට උපකාර වන භාවනා මනස්කාරය යෝනිසෝමනසිකාර ය යි. අටුවායෙහි ප්‍රධාන න්‍යායයෙන් හා අවිනාභාව න්‍යායයෙන් දක්වන ලද අනිත්‍යය මෙනෙහි කිරීමේ දී ද යෝනිසෝමනසිකාරය වේ. විදර්ශනා වඩන යෝගී පුද්ගලයා විසින් කළ යුතුව ඇත්තේ ප්‍රකට ව වැටහී එන නාම රූප ධර්මයන් නුවණින් බලා දැනගැනීම ය. ඒ නාම රූප ධර්මයන් පුද්ගලයෙක් ය, සත්වයෙක් ය, මම ය, ස්ත්‍රියක් ය, පුරුෂයෙක් ය, යන ආදී වශයෙන් නොදත යුතු ය. එහි ඇති වනනැතිවන අනිත්‍ය ලක්‍ෂණ ආදිය ම දත යුතු ය.

එයම කෙලෙස් සංසිඳ වීමට උපකාරී වන බැවිනි. කෙලෙස් ඉපදීමට හේතු වන නිත්‍ය, සුඛ, ආත්ම, ශුභ වශයෙන් නො දැක්ක යුතු ය. මෙසේ විදර්ශනා වඩන තැනැත්තාගේ සදොරට හමුවන ෂඩාරම්මණයන් අතුරෙන් එක් එක් අරමුණක් මෙනෙහි කිරීමේ දී මෙය නාම රූප ධර්මයක් දෝ! මෙය ඇති ව නැති වන දෙයක් දෝ! යන ආදී වශයෙන් මෙනෙහි කරන්නාක් මෙන් උපදින පඤ්චද්වාරාවජ්ජන මනෝද්වාරාවජ්ජනයෝ සුදුසුසේ නියම මගින් මෙනෙහි කරති. එසේ මෙනෙහි කළ පරිද්දෙන් ම මනෝද්වාරික විදර්ශනා ජවනයෝ ද අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරමින් උපදිත්. මේ විදර්ශනා ජවන් රැස නාම රූප ස්වභාවයන් ඇති සැටියෙන් දක්නා බැවින් ද, පසු පසු පහළ වන විදර්ශනා ඥාන විශේෂයන්ට හා මාර්ග ඵල ඥානයන්ටත් උපකාරී වන බැවින් ද යෝනිසෝමනසිකාරය නම් වේ. පළමු කොට මෙනෙහි කරමින් උපන් ආවර්ජනය ද මෙනෙහි කිරීම් වශයෙන් ඒ විදර්ශනා ජවන් හා සමාන වන බැවින් යෝනිසෝමනසිකාරයෙහි ම ඇතුළත් වේ. එහෙයින් සතිපට්ඨාන සුත්‍ර ටීකාවෙහි:

“යොනිසොමනසිකාරො නාම කුසලාදීනං තං තං සභාවරසලක්ඛණාදිකස්ස යාථාවතො අවබුජ්ඣනවසෙන උප්පන්නො ඤාණසම්පයුත්තචිත්තුප්පාදො, සො හි අවිපරීතමනසිකාරතාය යොනිසොමනසිකාරොති වුත්තො, තදා භොගතාය ආවජ්ජනාපි තග්ගතිකා එව” යි කීහ.

එහි අදහස:

යෝනිසෝමනසිකාරය නම්: කුසලාදින් පිළිබඳ ඒ ඒ ස්වභාව ලක්ෂණ රස අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ආදිය ඇති සැටියෙන් අවබෝධ කිරීම් වශයෙන් උපදනා ඤාණ සම්පයුත්ත චිත්තෝත්පාද ය යි. එය එසේ මැ යි ඒ චිත්තෝත්පාදය ම අවිපරීත මනස්කාරයක් වන බැවින් යෝනිසෝ මනසිකාර ය යි කියන ලදී. ඒ ජවන් සිත්වලට පෙර ඒ අරමුණ මෙනෙහි කරන බැවින් ආවජ්ජන සිත ද ජවනගතික වන්නේ ම ය.

මේ ටීකා පාඨය වූ පරිදි පුර්ව පුර්ව චිත්ත වීථිවල ඇතුළත් ආවජ්ජන සිත් හා විපස්සනා ජවන් සිත් සියල්ල පසු පසු චිත්ත වීථිවල උපදින කුසල් වලට උපකාරී වන යෝනිසෝමනසිකාර ය යි සැලකිය යුතුය.

සැකෙවින් කියත හොත් විදර්ශනා වඩන කල්හි නුවණින් විදර්ශනා අරමුණු මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාර ය යි. එයට උපකාරී වන හැම මෙනෙහි කිරීමක් ද යෝනිසෝමනසිකාරයෙහි ඇතුළත් වේ. විදර්ශනාවට උපකාරී නො වන කෙලෙස් උපදවන කාම අරමුණු ආදිය මෙනෙහි කිරීම අයෝනිසෝමනසිකාරය යි.

මේ නීවරණ අවසරයෙහි වනාහි කාමච්ඡන්දය පහළ වන සේ මෙනෙහි කිරීම අයෝනිසෝමනසිකාර ය යි. එසේ ම කාමච්ඡන්දය නුපදින පරිදි නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාර ය යි. මෙකී මනසිකාර දෙක ම උපදනා ආකාරය මෙනෙහි කර දැන ගැනීම සඳහා,

“යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්චපජානාති, යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හොති තඤ්ච පජානාති” ය යි දේශනා කරන ලදී.

සමථ විදර්ශනාවන් කරණ කොට ගෙන කාමච්ඡන්ද සංඛ්‍යාත තණ්හාව හෝ ලෝභය පහකළ හැකි වුව ද එය සහමුලින් ම පහ ව ය න්නේ රහත් මගින් ය. රහත්වූ විට උන්වහන්සේ තමන් වහන්සේ තුළ පැවැති කාමච්ඡන්දය පහකළ රහත් මාර්ගය ද ප්‍රත්‍යක්ෂව දැනගන්නාහ. රහත් නොවූ යෝගී පුද්ගලයා සිය සතන්හි පැවැති කාමච්ඡන්දය භාවනාවෙන් පහව ගිය බව දැනගන්නේ ශෘතමය ඥානයෙන් හෝ චින්තාමය ඥානයෙන් ය.

තව ද කාමච්ඡන්දය ඇතිවීමට සහ එය දුරු කිරීමට කරුණු සය බැගින් ඇත. කාමච්ඡන්දය දුරුකිරීමට උපකාරවන කරුණු සය මෙහි පළමුකොට දක්වනු ලැබේ. එනම්:-

1. අසුභ අරමුණු ඉගෙන ගැනීමය.

2. අසුභ භාවනානුයෝගය.

3. ඉන්‍ද්‍රියද්වාරයන් රැක ගැනීමය.

4. භෝජනයෙහි පමණ දැන ගැනීමය.

5. කල්‍යාණමිත්‍ර සේවනය.

6. සප්පායකථාවය යනු යි.

එහි අසුභ අරමුණු ඉගෙනීම යනු උද්ධමාතක ආදී දශවිධ අසුභයන් සහ කෙස් ලොම් ආදී පිළිකුල් කොටස් ද යන එකොළොස් වැදෑරුම් අසුභයන් කෙරෙහි පවත්නා පිළිකුල් ආකාරය උග්ගහ නිමිත්ත පහළවන තෙක් පුරුදු පුහුණු කිරීම ය.

අසුභ භාවනානුයෝගය යනු උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය උපදින සේ යම්කිසි අසුභ අරමුණක් ගෙන භාවනාවෙහි යෙදීම ය.

ඉන්ද්‍රියද්වාරයන් රැක ගැනීම යනු ඇසය, කණය, නැහැය, දිවය, කයය, මනසය යන මේ දොරටු වලින් රූප ශබ්ද ආදිය ඇතුල් වන කල්හි රාගාදී කෙලෙස් ඇති නො වන සේ සිහිය එලවමින් සිත ආරක්ෂා කර ගැනීමය.

භෝජනයෙහි පමණ දැන ගැනීම යනු අනුභව කරන හෝජනය ඇසුරු කළ ‘ආහාරෙ පටික්කුල සඤ්ඤාව’ ය, උදරයට වැටුනු ආහාරය ප්‍රිය මනාප ස්වභාවය හැර වෙනස් වීම ය, ආහාරයේ ආධාරස්ථානය අපිරිසිදු බවය, උදරයට වැටුනු ආහාරය අතිශයින් පිළිකුල් අසුභ බවය, මේ රූප කය ආහාරය නිසාම පවත්නා බවය යන මෙකී කරුණු යමෙක් විශේෂයෙන් නුවණින් දැනගන්න නම් හෙතෙම අනුභව කරන භෝජනයෙහි පමණ දැන අනුභව කරන්නේ ය. එහෙයින්,

“චත්තාරො පව ආලොපෙ - අභූත්වා උදකං පිංචෙ

අලං ඵාසුවිහාරය - පහිතත්තස්ස භික්ඛුනො”

යි වදාළ සේක.

යෝගාවචරයා විසින් ආහාරය අනුභව කරන විට ආහාර පිඬු සතරක් හෝ පහක් හෝ නො වළඳා එයට අවකාශය තබාගෙන පැන් පානය කළ යුතු ය. එවිට පහසුවෙන් භාවනා කළහැකි වෙයි යනු එහි අදහස ය.

මෙසේ භෝජනයෙහි පමණ දැන වැලඳීමෙන් ථීනමිද්ධයට අවකාශයක් නො ලැබෙන නිසා කාමච්ඡන්දය පහකළ හැකි ය යි කීහ.

කල්‍යාණ මිත්‍ර සේවනය යනු අසුභකමිකතිස්ස තෙරුන් වැනි අසුභ භාවනාවෙහි ඇලුනු කල්‍යාණ මිත්‍රයන් සේවනය - භජනය කිරීම ය. එනම්, සිනාසෙන ස්ත්‍රියකගේ දත් ඇන්ද දැක එහි අසුභ සංඥාව උපදවා රහත් වූ මහා තිස්ස තෙරණුවෝ ය.

ඒ කථා පුවත මෙසේ ය: අනුරාධපුර සමීපයෙහි එකල චේතිය පබ්බත නමින් ව්‍යවහාර වූ මිහින්තලායෙහි විසු මහාතිස්ස ස්වාමීන් වහන්සේ අනුරාධපුරය දෙසට පිඬු සිඟා වඩින කල්හි එක්තරා කුලකාන්තා වක් සිය සැමියා සමග ඇති වූ අඩදබරයක් නිසා දෙවඟනක් මෙන් හොඳින් ඇඳ පැළඳ අනුරාධපුරයෙහි සිට මිහින්තලා පෙදෙසෙහි නෑගෙයකට යන අතර මග ඒ මහා තිස්ස හිමියන් දැක රාගයෙන් විපරීත වූ සිත් ඇතිව මහත් හඬින් සිනාසුනා ය. තෙරුන්නාසේ “මේ කිමෙක් දැ” යි එදෙස බලන ඇගේ දත් ඇන්ද දැක එහි අශුභ සංඥාව පහළ වීමෙන් රහත් වුහ. උන්වහන්සේ ප්‍රකෘතියෙන් ම අට්ඨික කර්මස්ථානය මෙනෙහි කරමින් සිටිසේක. පිඬු සිඟා වඩින කල්හි ඒ කර්මස්ථානය අත් නොහළහ. දත් ඇන්ද දැකීම නිසා ඒ අනුසාරයෙන් ඇගේ මුලු ශරීරය ම ඇට සැකිල්ලක් සේ උන්වහන්සේට පෙනී ගියේ ය. මෙසේ වැටහුනු අට්ඨික පටිභාගනිමිත්තෙහි උපචාරධ්‍යානය උපදවා එයට අනතුරු ව ප්‍රථමධ්‍යානයට පැමිණ එය පාදක කොට ගෙන එහි වූ සංස්කාර ධර්මයන් විදර්ශනාවට නගා භාවනා කොට මාර්ග පටිපාටියෙන් රහත්ඵලයට පැමිණිසේක. එහෙයින්:

“තස්සා දන්තට්ඨිකං දිස්වා - පුබ්බසඤ්ඤං අනුස්සරි

තත්ථෙව සො ඨිතො ථෙරො – අරහත්තමපාපුණි”

යි කීහ.

ඒ ස්ත්‍රියගේ සැමියා ද ඇය පසු පස යනුයේ තෙරුන්නාන්සේ දැක “ස්වාමීනි! කිමෙක? මේ මාර්ගයෙහි යන ස්ත්‍රියක් දැක්කහු “දැ යි විචාළේ ය. එවිට උන් වහන්සේ.

“නාභිජානාමි ඉත්ථි වා - පුරිසො වා ඉතා ගතො

අපි ච අට්ඨිසඞ්ඝාටො - ගච්ඡතෙ ස මහාපථෙ”

යි කීහ.

“මේ මාර්ගයෙහි ගිය තැනැත්තා ස්ත්‍රියක් ද පුරුෂයෙක් දැ යි මම නොදනිමි. එහෙත් ඇට සැකිල්ලක් නම් යනවා දුටුවෙමි.” යනු එහි තේරුම ය.

මෙවැනි කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් ද කාමච්ඡන්දය පහ වෙයි.

සප්පාය කථා යනු යෑම් සිටීම් ආදී සතර ඉරියව් පවත්වන හැම අවස්ථාවක දී ම මේ කුණු කය පිළිබඳ අසුභ බව හෝ පිළිකුල් බව ප්‍රකට වන කථා ඇති කිරීම නිසා ද කාමච්ඡන්දය පහ වෙයි.

මෙකී කරුණු සය ඇති වීමෙන් කාමච්ඡන්දය පහ ව යන්නාක් මෙන් ම මේ කරුණු සය ඇති නොවීමෙන් කාමච්ඡන්දය උපදනා බව ද දත යුතුයි.

2. ව්‍යපාද නීවරණය

(ධම්මානුපස්සනාව පිළිබඳ නීවරණපබ්බයේ)

පාලි

“සන්තං වා අජ්ඣත්තං බ්‍යාපාදං අත්ථි මෙ අජ්ඣත්තං බ්‍යාපාදොති පජානාති. අසන්තං වා අජ්ඣත්තං බ්‍යාපාදං නත්ථි මෙ අජ්ඣත්තං බ්‍යාපාදොති පජානාති. යථා ච අනුප්පන්නස්ස බ්‍යාපාදස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස බ්‍යාපාදස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස බ්‍යාපාදස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස:

සිය සතන්හි ව්‍යාපාදය ඇති වුව හොත් එකල්හි මාගේ සන්තානයෙහි ව්‍යාපාදය ඉපදී ඇතැයි දැනගනී. සිය සතන්හි ව්‍යාපාදය ඇති නො වුවහොත් එකල්හි මා තුළ දැන් ව්‍යාපාදය නැතැ යි දැනගනී. මුල දී නූපන් ව්‍යාපාදය යම් අයෝනිසෝමනසිකාරයක් නිසා ඇති වුව හොත් ඒ අයෝනිසෝමනසිකාරය ත් දැන ගනී. උපන් ව්‍යාපාදය යම් යෝනිසෝමනසිකාරයක් හේතුකොටගෙන තදඞ්ග වශයෙන් හෝ විෂ්කම්භන වශයෙන් හෝ ප්‍රහීන වෙයි නම් එය ත් දැනගනී. තදඞ්ග විෂ්කම්භන වශයෙන් ප්‍රහීන වූ ව්‍යාපාදය යම් ආර්යය මාර්ගයක් නිසා නැවත නූපදී නම් ඒ ආර්ය මාර්ගය ද දැනගනී.

එහි විස්තරය:

සිතේ තරහ ඇතිවීම, සිත නරක් වීම, අනුන්ට හිංසා පීඩා කරනු කැමැත්ත, අනුන් විනාස කරනු කැමැත්ත, වනස් සිතුවිල්ල යන මේ ද්වේශය හෝ කෝධය පිළිබඳ ආකාර විකාර සියල්ල ව්‍යාපාදයයි කියනු ලැබේ.

ව්‍යාපාද ය යි කියනු ලබන ක්‍රෝධය යම්කිසි සවිඥාණක වූ හෝ අවිඥාණක සංස්කාරයක් නිතර පවත්නේ ය යි ද, සැප ඇති එකක් ය යි ද, ආත්මසාරයෙන් යුක්ත ය යි ද, එය සුභ දෙයක් ය යි ද වැටහී තිබෙන අතර, ඒ සත්වයා හෝ සංස්කාරය අරමුණු කරමින් ඇතැම් විටක දී ව්‍යාපාදය ඇති විය හැකිය. එයට හේතුවනුයේ අයෝනිසෝමනසිකාරය යි. ඒ ව්‍යාපාදය සහමුලින් පහ ව යන්නේ අනාගාමි මාර්ගයෙනි. ඒ අනාගාමි පුද්ගලයා ව්‍යාපාදය පහව යන්නේ අනාගාමි මාර්ගයෙන් ය යි ප්‍රත්‍යක්ෂව දැන ගන්නේ ය. මෙසේ අයෝනිසෝමනසිකාරයෙන් ව්‍යාපාදය ඇති වන බව හා යෝනිසෝමනසිකාරයෙන් ව්‍යාපාදය පහ ව ගොස් මෛත්‍රිය ඇති වන බව ද දත යුතු ය.

තවද ව්‍යාපාදය පහ කිරීමට උපකාරී වන ගුණධර්ම සයක් ද ඇත. එනම්,

1. මෙත්තා නිමිත්ත ඉගෙනීම ය,

2. මෙත්තා භාවනානුයෝග ය,

3. කම්මස්සකතාපච්චවෙක්ඛණ ය,

4. පටිසඞ්ඛාණබහුලතා ය,

5. කල්‍යාණ මිත්තතා ය,

6. සප්පාය කථා ය යන මොහුය.

අනුන්ට හිත වැඩ සලසන මෘදු මොලොක් අදහස් ඇති තැනැත්තා මිත්‍රයා ය. මිත්‍රයාගේ සිතේ පවත්නා මෘදු මොලොක් බව මෙත්තා හෝ මෛත්‍රිය යි කියනු ලැබේ. එහෙයින් සකල සත්ව ප්‍රජාව කෙරෙහි හිතාධ්‍යසය ඉපදවීමට හෝ පැවැත්වීමට දැන ඉගෙනීම මෙත්තානිමිත්ත ඉගෙනීම යි.

මෛත්‍රිය වැඩීම වනාහි ඕධිසක, අනෝධිසක, දිසාඵරණ නියමයෙන් බෙදා ගත යුතු ය. ඕධිසකනියමය නම්, තමා ය, ප්‍රිය පුද්ගලයා ය, මධ්‍යස්ථ පුද්ගලයා ය, සතුරා ය යන මේ වශයෙන් මෙය ලබන අය සීමාකර ගැනීම ය. සීමාරහිතව මෙත් වැඩීම අනෝධිසක නම් වේ. නැගෙනහිර බස්නාහිර ආදී දිසාවන්හි මෙත් පැතිර වීම දිසාඵරණය යි.

අසුවල් විහාරය, අසුවල් වීථිය, අසුවල් ගමය යන ආදී වශයෙන් හෝ ඕධිසක (සීමාසහිත) දිසාඵරණ මෙත්තාව ද, විහාරය, ගමය, වීථිය යන ආදිය නො උදෙසා නැගෙනහිර බනාහිර ආදී දිසා වශයෙන් අනෝධිසක (සීමාරහිත) දිසාඵරණ වශයෙන් මෛත්‍රිය ඉගෙන ගතයුතු බව කියන ලදී. ඉගෙනීම ද උපාචාර සමාධිය පහළ වීම දක්වා ම කළයුතු ය. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් කළ යුතු ව ඇතත් මෙහි දී කෙටියෙන් මෙසේ සැලකිය යුතු යි. “සබ්බේ සත්තා අවෙරා හොන්තු අබ්‍යාපජ්ජා හොන්තු අනීඝා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු” යනුවෙන් පාලියෙන් හෝ “සියලු සත්වයෝ සතුරන්ගෙන් මිදෙත් වා! ව්‍යාපාදයෙන් හෝ ක්‍රෝධයෙන් මිදෙත් වා! දුකින් මිදෙත් වා! සුවපත් වෙත් වා” යනුවෙන් සිංහලෙන් හෝ මෙත් වැඩීමට ඉගෙන ගත යුතු ය. මෙසේ මෙත්තානිමිත්ත ඉගෙනීමෙන් ද ව්‍යාපාදය පහ කළ හැකි ය.

මෙත්තාභාවනානුයෝගය නම්, මෛත්‍රි භාවනාවෙහි යෙදීම ය. මෙය සබ්බන්ථක භාවනාවක් වූ බැවින් සැමදා ම ටික වෙලාවක් මේ භාවනාව වැඩිය යුතුය. විදර්ශනා භාවනාවේ හෝ සමථ භාවනාවක යෙදෙන්නා හට මෙය ඉතාම අවශ්‍ය භාවනාවකි. සතිපට්ඨාන භාවනාව විදර්ශනා භාවනාවකි. ඒ විදර්ශනාවට පටන් ගැනීමට ප්‍රථමයෙන් ටික වෙලාවක් යටකී නයින් ඉතා කෙටියෙන් සියලු සත්වයන්ට හා දේවතා ආදීනට ත් මෙත් පැතිර විය යුතු ය. මෙසේ මෙත් වැඩීමෙන් ද ව්‍යාපාදය පහකළ හැකි ය.

කම්මස්සකතාපච්චවෙක්ඛණය යනු: තමාට හෝ සතුරාට ඇතිවන අකුසල කර්මය සිහිනුවණින් සලකා බැලීම යි. තමාගේ අකුසල කර්මය ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ මෙසේ ය: “ඔබ ඒ සතුරාට කිපී කුමක් කරන්නෙහි ද? ඔබ ඒ සතුරාට අනර්ථයක් කළහොත් ඒ අකුසල කර්මය ඔබේ ම අනර්ථයට හේතුවන්නේ නො වේ ද? ඒ අකුසලය ඔබට ලෝකෝත්තර සම්පතක් හෝ දෙව් මිනිස් ආදි ලෞකික සම්පතක් හෝ නූපදවන්නේ ය. හුදෙක් එය මෙලොව දී සිරබන්ධන ආදී නොයෙක් දුක්වලට හා පරලොව නිරය තිරිසන් ආදී අපාය දුක් වලටත් හේතු වන අකුසල කර්මයකි. ඔබ අනුන්ට හිංසා පීඩා කරන්ට කල්පනා කිරීම ගිනි අඟුරු ගොඩක් දෑතින් ගෙන දෑත පුළුස්සා ගැනීම මෙනි. අසුචි ගොඩක් දෑතින් ගෙන දෑත අපිරිසිදු කර ගැනීම මෙනි. අනුන්ට පීඩා කරන්ට පෙර ඔබේ සන්තානයෙහි ක්‍රෝධය ඉපදීමෙන් පළමුකොට ම ඔබේ සිත දූෂ්‍ය වන බැවිනි.

එයට අනතුරු ව අනුන්ගේ කර්මයත් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ය. කෙසේද යත්? “ඒ සතුරා ඔබට කිපී කුමක් කරන්නේ ද? ඒ කෝපය ඔහුගේ ම අනර්ථය පිණිස පවතින්නේ නො වේ ද? ඒ අකුසලය ඔහුට සැනසීම පිණිස හේතු නොවන්නේ ය. හුදෙක් ඒ ක්‍රෝධය ඔහුට මෙලොව පරලොව දෙක්හි බරපතල භයානක දුකට හේතුවන්නේය. මෙසේ කම්මස්සකතාව ප්‍රත්‍යවෙක්ෂා කිරීමෙන් ද ව්‍යාපාදය පහකළ හැකි ය.

පටිසඞ්ඛානබහුලතාව නම් අපගේ ශාස්තෘන් වහන්සේ පෘථග්ජනව සිට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම් දම් පුරන කල්හි ඒ ඒ ආත්මවල දී හිරිහැර පීඩා කළ පසමිතුරන් කෙරෙහි ද ජීවිතක්ෂයට පත් කළ වධකයන් කෙරෙහි ද ක්‍රෝධයෙන් සිත දූෂ්‍ය කර නොගත් සේක. එනම්, සීලව ජාතකය, ඛන්තිවාදී ජාතකය, චූළධම්මපාල ජාතකය, ඡද්දන්ත ජාතකය, මහාකපි ජාතකය, භූරිදත්ත ජාතකය, සංඛපාල ජාතකය, මාතුපෝසක ජාතකය යන ආදියෙහි දී ආශ්චර්යය අද්භූත ආකාරයෙන් ක්‍රෝධයට වසඟ නොවී මෙත්‍රියෙන් ක්‍රියාකළ ආකාරය නුවණින් සලකා ව්‍යාපාදය දුරු කළ යුතු ය.

තව ද අගක් මුලක් නැති සංසාරයෙහි දී මා හට මවු නොවූ පියා නොවූ සොහොයුරු නොවූ සොහොයුරී නොවූ පුතා නොවූ දු නොවූ එකම සත්වයෙක් ලෝකයෙහි නැත. එහෙයින් සතුරා කෙරෙහි මෙසේ සිතිය යුතු ය. මේ තැනැත්තා අතීත කාලයෙහි මගේ මවුය. ඇය දසමසක් මුළුල්ලෙහි මා ඇගේ කුසෙහි දරාගෙන සිට බිහි වූ පසු මගේ සෙම්සොටු මලමුත්‍ර ආදී අසුචි රැස සඳුන් කල්කයක් සේ පිළිකුල් නොකර එය ඉවත්කර, පිරිසිදු කොට මා වඩාගෙන කවා පොවා පෝෂ්‍ය කළා ය. කලෙක දී ඇය මගේ පියා විය. එකල මට ඇති ආදරය නිසා ඔහුගේ ජීවිතය ද නොතකා නොයෙක් අයුරින් ධනය රැස්කොට මා පෝෂ්‍ය කෙළේ ය. එපමණකුත් නොව ඔහු මගේ සොහොයුරා වීමෙන් සොහොයුරිය වීමෙන් පුතා වීමෙන් දුවක් වීමෙන් මට නොයෙක් උදවූ උපකාර කොට ඇත. ඒ නිසා ද ඔහු කෙරෙහි සිත දුෂ්‍ය කිරීම නුසුදුසු ය යි නුවණින් සලකා ව්‍යාපාදය දුරු කළ යුතු ය.

කල්‍යාණ මිත්තතා නම්, මෙත් වඩන කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ය. අස්සගුත්ත ස්වාමින් වහන්සේ නිතර මෙත් වඩන කෙනෙකි. එවැනි උතුමන් ඇසුරු කිරීමෙන් ව්‍යාපාදය පහව යයි.

විසාඛ ස්වාමීන් වහන්සේ වැනි අයද ව්‍යාපාදය දුරු කොට මෛත්‍රිය ඉපද වීම සඳහා ඇසුරු කිරීමට සුදුසුයහ. උන්වහන්සේගේ කථා පුවත මෙසේ ය:

දඹදිව පැලලුප් නුවර එක්තරා කෙළෙඹි පුත්‍රයෙක් විසුවේ ය. ඔහුට ලංකාද්වීපය ගැන මෙසේ අසන්ට ලැබුනා ලු. කෙසේද යත්? “තම්බ පණ්ණිදීප” නමැති ලංකාද්වීපය චෛත්‍ය විහාර මලු ආවාස පන්සල් ආදියෙන් අලඞ්කෘත ය. එහි වසන බොහෝ පැවිදි පිරිස නිසා මුලු ලක්දිව කසාය වස්ත්‍රයෙන් බබලන්නේ ය. සොර සතුරු භය අඩුය. එහි ඕනෑ තැනක ඉඳගන්ට හෝ සැතපෙන්ට හැකිය. එපමණකුත් නොව එහි දේශගුණය හොඳ නිසා ඍතු සප්පාය යහපත්ය. එසේ ම සේනාසන සප්පාය - පුද්ගල සප්පාය - ධම්ම සවණ සප්පාය යන මේ සියල්ල ඉතා සුලභය යනු යි.

එහෙයින් හෙතෙම තමා සතු භෝගස්කන්ධය පුත්‍ර දාරාවන්ට භාරදී එකම කහවනුවක් රෙදි අග කොණේ බැඳගෙන ගෙදරින් නික්ම ගොස් මුහුදු වෙරළෙහි නවා තැන් ගෙන ලක්දිවට යන නැවක් සොයමින් එක් මසක් එහි ම විසී ය. හෙතෙම වෙළඳාමෙහි දක්ෂයෙකු වූ බැවින් එහි දී බඩු මිලයට ගෙන විකුණමින් දැහැමි වෙළඳාමෙන් ඒ මාසය තුළ ම කහවණු දහසක් රැස්කර ගත්තේ ය. ඉක්බිති ලක්දිවට පැමිණ අනුපිළිවෙළින් අනුරාධපුරයෙහි මහා විහාරයට ගොස් මහණ වී උපසම්පදා කරවීමට සීමාවට පැමිණ වූ කල්හි මසුරන් දහසේ මඩිස්සලය ඔඩොක්කුවෙන් බිම හෙලුවේ ය. “මේ කුමක්දැ” යි මහ තෙරුන් වහන්සේ විචාළ කල්හි “ස්වාමීනි! මසුරන් දහසක්” ය යි කීවේ ය. “පැවිදි වුවාට පසු මුදල් පරිහරණය නොකළ හැකි ය. දැන් මේ මොහොතේ ම එයට සුදුස්සක් කරව” යි මහා ස්ථවිරයන් වහන්සේ කීහ. එවිට හෙතෙම “විසාඛ පැවිදි වූ තැනට පැමිණි අය හිස් අතින් නොයත් වා! මේ කහවනු ඇර

ගෙන යත් වා” යි කියා ඒ කහවණු මඩිස්සලය ලිහා ඒවා සීමා මලුවේ විසුරුවා හැර පැවිදිව උපසම්පදාව ලබාගත්තේ ය. ඉක්බිති විසාඛ භික්ෂුව උපසම්පදා වස් පසක් සම්පූර්ණ වූ පසු උභය ප්‍රාතිමෝක්ෂය ද ප්‍රගුණ කොටගෙන පස්වැනි වස පවාරණය කොට තමාට

සප්පාය මෛත්‍රී කර්මස්ථානය ගෙන එක් එක් විහාරයෙක සාර මස බැගින් වාසය කරමින් මෙති සමාධිය පාදක කොටගෙන විදසුන් වඩා රහත් බවට පැමිණි සේක.

උන්වහන්සේ යම් විහාරයක වෙසෙත් නම් ස්වකීය ස්ථානයක මෙන් හැමදීම් ආදී සියලු වත පිළිවෙත කරති. ඉක්බිති එක් විහාරයක වැස සාරවස ඉක්ම ගිය කල්හි සිතුල්පව් විහාරයට වඩිනසේක් දෙමං සන්ධියකට පැමිණ “අර මාර්ගයෙන් යම් දෝ මේ මාර්ගයෙන් යම් දෝ” යි සිතමින් සිටින කල්හි ඒ සමීපයෙහි පර්වතයක අධිගෘහිත ව සිටි දේවතාවෙක් අතදිගු කොට සිතුල් පව්වට යන්නේ මේ මාර්ගයෙන් ය යි දැක්වී ය. උන්වහන්සේ ඒ මාර්ගයෙන් සිතුල්පව් විහාරයට ගොස් එහි ද සාරමසක් වාසය කොට හෙට උදෑසන ම වෙන තැනකට වඩින්ට ඕනෑ ය යි සිතා සැතැපී සිටින කල්හි සක්මන් මලු කොණේ මනිලරුකෙහි අධිගෘහිතව වාසය කරන දේවතාවා සක්මන් කෙළවර සෝපාන පුවරුවෙහි ඉඳගෙන අඬන්නට පටන් ගත්තා ය.

“මෙතැන අඬන්නේ කවුදැ” යි උන්වහන්සේ විචාළ කල්හි “ස්වාමීනි! මේ මණිල රුකේ වාසය කරන දෙව්දුවක් වූ මා ය” යි කීවා ය. “අඬන්නී කුමක් නිසාද” යි විචාළ සේක. එවිට “නුඹ වහන්සේ ආපසු වඩින නිසා ය” යි කීවා ය. “මා මෙහි විසීමෙන් තොපට ප්‍රයෝජනයක් ඇත්දැ” යි ඇසූහ. “නුඹ වහන්සේ මෙහි වසන කල්හි අමනුෂ්‍යයෝ ඔවුනොවුන්ට මෙත් පතුරුවති. නුඹ වහන්සේ මෙතැන අතහැර වැඩිය හොත් මෙතැන් සිට ඔවුහු කෝලාහල කරති. කුණු හරුප කියා ගනිති ය” යි කීවා ය. එවිට “මා මෙහි විසීමෙන් තොපට පහසු විහරණයක් වේ නම් යහපතැයි” කියා තවත් හාර මසක් වාසය කොට නැවතද “යන්ට ඕනෑ ය යි සිතූවිට ඒ දෙව්දුව නැවතත් පෙර සේම ඇඬුවා ය. මේ උපායෙන් ම විසාඛ තෙරුන් වහන්සේ සිතුල් පව්වේ ම වාසය කොට එහිදී ම පිරිනිවන් පෑ සේක. මෙවැනි කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් ද ව්‍යාපාදය පහ ව යයි.

සප්පාය කථා යනු මෛත්‍රිය ඉපදවීමට සුදුසු ධර්ම සාකච්ඡා පැවැත්වීමය. එයිනුත් ව්‍යාපාදය පහකළ හැකි වෙයි. ව්‍යාපාදය උපදින විට “ව්‍යාපාදය ව්‍යාපාද” යයි කීප වරක් මෙනෙහි කිරීමෙන් එය පහකළ හැකි වෙයි.

3. ථීනමිද්ධ නීවරණය

ධම්මානුපස්සනාව පිළිබඳ නීවරණ පබ්බයේ

පාලි

සන්තං වා අජ්ඣත්තං ථිනමිද්ධං අත්ථි මෙ අජ්ඣත්තං ථිනමිද්ධන්ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං ථිනමිද්ධං නත්ථි මෙ අජ්ඣත්තං ථිනමිද්ධන්ති පජානාති. යථා ච අනුප්පන්නස්ස ථිනමිද්ධස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස ථිනමිද්ධස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස ථිනමිද්ධස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.

කෙටි අදහස

සිය සතන්හි ථිනමිද්ධය ඇතිවුවහොත් එකල්හි මාගේ චිත්ත සන්තානයෙහි ථිනමිද්ධය ඉපදී ඇතැයි දැනගනී. සිය සතන්හි ථිනමිද්ධය ඇති නොවුවහොත් එකල්හි මාගේ චිත්ත සන්තානයෙහි දැන් ථීනමිද්ධය නැතැයි දැනගනී. මුල දී නූපන් ථීනමිද්ධය යම් අයෝනිසෝමනසිකාරයක් නිසා උපදී නම් එයට හේතුවන අයෝනිසෝමනසිකාරයත් දැන ගනී. උපන් ථිනමිද්ධය යම් යෝනිසෝමනසිකාරයක් කරන්න කොට ගෙන තද වශයෙන් හෝ විෂ්කම්භන වශයෙන් ප්‍රහීන වෙයි නම් එය ද දැනගනී. ප්‍රහීන වූ ථීනමිද්ධය යම් ආර්ය මාර්ගයක් නිසා නැවත නූපදී නම් ඒ ආර්ය මාර්ගය ද දැනගනී.

එහි විස්තරය

ඉහත කී නයින් අයෝනිසෝමනසිකාරය නිසා ථීනමිද්ධය උපදින බව සහ යෝනිසෝමනසිකාරය නිසා ථිනමිද්ධය පහව යන බවත් දතයුතුය.

අරති යයි කියනු ලබන කම්මැලිකම ද තන්දි ය යි කියනු ලබන කයේ අලසකම ද විජම්හිතා ය යි කියනු ලබන ඇඟමැලි කැඩීම ද භක්තිසම්මද ය යි කියනු ලබන බත් මත ද චෙතසොලීනත්ත ය යි කියන ලද කුසලයෙහි සිත පසු බැස හැකිලී යෑම ද යන මෙකී අරති ආදියෙහි අයෝනිසෝමනසිකාරය බහුලව පවත් වන තැනැත්තාහට ථීනමිද්ධය උපදී.

ථීනමිද්ධය පහකිරීමේ යෝනිසෝමනසිකාරය සඳහා ආරම්භ ධාතුය, නික්ඛම ධාතුය, පරක්කම ධාතුය යන මේ වීරිය ධාතු තුණ පළමුවෙන් වැඩිය යුතුය. එහි ආරම්භ ධාතු නම්, පුණ්‍ය ක්‍රියාවක් පටන් ගැනීමේ දී එයට ප්‍රතිවිරුද්ධ කරුණු ඉවත් කොට පළමුවෙන් පටන් ගන්නා ලද වීර්යය ය යි. නික්ඛම ධාතු නම්, කුසීත භාවයෙන් නික්ම යන බැවින් ආරම්භ ධාතුවට වඩා බලවත් වීර්යය ය යි. පරක්කම ධාතු නම්, පසු පසු උපදින වීර්යයයට උපකාර වන නිසා මතු මතු විශේෂ ප්‍රතිඵල ඉපදවිය හැකි අතිශයින් බලවත් වීර්යය ය යි. මෙකී තෙවැදෑරුම් වීර්යයයෙහි යෝනිසෝමනසිකාරය බහුලව පවත්වන්නාගේ ථිනමිද්ධය පහව ය යි. එය සහමුලින් පහව යන්නේ රහත් මගින්ය. “ථිනමිද්ධය ථීනමිද්ධය” ය යි කීපවරක් මෙනෙහි කිරීමෙන් රෝගී පුද්ගලයාහට එය තදඞ්ග වශයෙන් හෝ විෂ්කම්භන වශයෙන් පහකළ හැකි ය.

ඒ මේ වීර්යය කායික - චෛතසික වශයෙන් දෙවැදෑරුම් වේ. එහි කායික වීරිය යනු දවල් කාලය පෙරවරු පස්වරු වශයෙන් ද රෑ කාලය පූර්ව යාමය මධ්‍යම යාමය පශ්චිම යාමය වශයෙන් ද දිනය කොටස් පසකට බෙදා ගෙන සක්මන් කිරීමෙන් හා ඉඳගැනීමෙන් කයින් භාවනාව සඳහා වෑයම් කිරීම ය.

චෛතසික වීරිය යනු මේ භාවනාවෙන් ප්‍රතිඵලයක් ලැබෙන තෙක් මේ විවේක ස්ථානයෙන් නික්ම නො යන්නෙමැයි කියා ස්ථානය පිරිසිඳ ගැනීමෙන් හෝ ඒ ප්‍රතිඵලය ලැබෙන තෙක් මේ ඉඳින පර්යකය වෙනස් නොකරනෙමැයි කියා ඉඳීම් ආදී ඉරියවු පිරිසිඳීමෙන් හෝ කමටහන් අරමුණෙහි සිත තදින් බැඳ තබාගෙන වෑයම් කිරීම ය. මෙකී දෙවැදෑරුම් වීර්යයෙන් භාවනා කරන යෝගී පුද්ගලයාහට නුපන් ථිනමිද්ධය නූපදී. උපන් ථීන මිද්ධය පහව යයි. කවරෙක්හට මෙන්ද? මිලක්ඛ තිස්ස ස්වාමීන් වහන්සේය, මහාසිව ස්වාමීන් වහන්සේය, පීතිමල්ල ස්වාමීන් වහන්සේය, කුටුම්බිය පුත්තතිස්ස ස්වාමීන් වහන්සේය යන මේ ස්වාමීන් වහන්සේලාට මෙනි. එයින් පළමු කී තුන් නම සහ වෙනත් අයද කායික වීර්යයෙන් භාවනා කළහ. කුටුම්බිය පුත්තතිස්ස ස්වාමීන් වහන්සේ සහ වෙනත් අයද චෙතසික වීරියයෙන් භාවනා කළහ.

උච්චවාලික වාසී මහානාග ස්වාමීන් වහන්සේ වනාහි ඒ දෙවැදෑරුම් වීරියයෙන් ම භාවනා කළහ. උන්වහන්සේ එක් සතියක සක්මන් ඉරියවුවෙන්ද එක් සතියක සිටින ඉරියවුවෙන් ද එක් සතියක ඉඳින ඉරියවුවෙන් ද එක් සතියක හොවින (හාන්සිවන) ඉරියවුවෙන් ද කමටහන් වැඩුසේක. උන්වහන්සේගේ හැම ඉරියවුවක් ම භාවනාවට සප්පාය වීය. උන්වහන්සේ එසේ සතර ඉරියවුවෙන් සති හතරක් විදර්ශනා භාවනාවෙහි යෙදී සිට සිවුවෙනි සතියෙහි දී ථීනමිද්ධය ඇතුලු සියලු කෙලෙස් පහකොට රහත් ඵලයෙහි පිහිටි ස්ක.

තවද ථීනමිද්ධය පහ කිරීමට උපකාරවන වෙනත් කරුණු සයක් ඇත. එනම්,

1. අතිභොජනෙ නිමිත්තග්ගාහය,

2. ඉරියාපථසම්පරිවත්තනතාව,

3. ආලොකසඤ්ඤාමනසිකාරය,

4. අබ්භොකාසවාසය,

5. කල්‍යාණ මිත්තතාව,

6. සප්පාය කථාව යන මේ කරුණු සය යි.

අතිභොජනෙ නිමිතග්ගාහය යනු බොහෝ ආහාර අනුභව නො කොට යැපෙන පමණට ආහාර ගැනීමය. බොහෝ ආහාර ගෙන රාත්‍රි ස්ථාන, දිවාස්ථානයන්හි ඉඳ භාවනා කරන්නා අභිභවනය කරමින් ථීනමිද්ධය මහා හස්තියෙකු සේ පැමිණෙයි. ආහාර පිඬු සතරකට හෝ පහකට හෝ අවකාසය තබා ගෙන පැන් බොන යෝගී පුද්ගලයාහට ථීනමිද්ධය පීඩා නොකරයි. එහෙයින් එය පහකළ හැකි වෙයි.

ඉරියාපථ සම්පරිවත්තනතා නම්, යම් ඉරියවුවක දී ථිනමිද්ධය උපදී නම් ඒ ඉරියව්ව වෙනස් කිරීමය. මෙසේ ඉරියවු මාරු කරමින් වෙනස් කිරීමෙන් ද ථීනමිද්ධය පහවෙයි.

ආලොකසඤ්ඤාමනසිකාරය නම් රාත්‍රියෙහි චන්ද්‍රාලෝකය, ප්‍රදීපාලෝකය, දැල් වූ ගිනිසුලය යන මේ ආලෝකය සහ දවල් සුර්යයාලෝකය මෙනෙහි කිරිමෙන් ද ථිනමිද්ධය පහවෙයි.

අබ්භොකාස වාසය නම්, යමකින් නොවැසුනු, ආවරණයක් නැති, එලිමහන් තැනක විසීමය. එවැනි එලිමහන් තැනක විසිමෙන් ද ථිනමිද්ධය පහවෙයි.

කල්‍යාණ මිත්තතා යනු මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ වැනි ථිනමිද්ධය නැති කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමය. එවැනි උතුමන් ඇසුරු කිරීමෙනුත් ථිනමිද්ධය පහ වෙයි.

සප්පායකථා යනු ධූතාංග පිළිබඳ සාකච්ඡා කථාවය. ධූතාංග සමාදන්වීම හා රැකීම විර්යයෙන් කළ යුතු බැවින් එවැනි සප්පාය කථාවෙනු ත් ථීනමිද්ධය පහවෙයි.

චිත්ත චෛතසිකයන්ගේ අකර්මන්‍ය භාවය හෝ පුණ්‍ය ක්‍රියාවෙහි අලස බව ථීනමිද්ධ ය යි. එය නූපන් කුසල් උපදවා ගැනීමට හෝ උපන් කුසල් පවත්වා ගැනීමට හෝ ඉඩ නො දී ආවරණ කරන බැවින් වළක්වන බැවින් නීවරණ නම් වේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, ආදියටත් ඒ නම ව්‍යවහාර කරනු ලබන්නේ ඒ නිසාය.

4. උද්ධච්චකුක්කුච්ච නීවරණය

පාලි

සන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං අත්ථි මෙ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චන්ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං නත්ථි මෙ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චන්ති පජානාති. යථා ච අනුප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස උද්ධච්චකුක්කුච්චස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.

කෙටි අදහස

තමා තුළ උද්ධච්චකුක්කුචය ඇතිව පවතී නම් දැන් මාගේ චිත්ත සන්තානය තුළ උද්ධචකුක්කුච්චය ඇතිව පවතින්නේ උද්ධච්චකුක්කුචය නැතැයි දැනගනී. යම් අයෝනිසෝමනසිකාරයක් නිසා මුලදී නුපන් උද්ධච්චකුක්කුච්චය උපදී නම් ඒ අයෝනිසෝ මනසිකාරයත් දැනගනී. යම් යෝනිසෝමනසිකාරයක් නිසා උපන් උද්ධච්චකුක්කුච්චය තදඞ්ගවිෂ්කම්භන වශයෙන් පහව ය යි නම් ඒ යෝනිසෝමනසිකාරයත් දැනගනී. තදඩ්ග - විෂ්කම්භන වශයෙන් පහවූ උද්ධව කුකුච්චය නැවත යම් ආර්ය මාර්ගයකින් සහමුලින් පහ වෙයි නම් ඒ ආර්ය මාර්ගයද දැනගනී.

එහි විස්තරය

උද්ධච්චය භා කුක්කුච්චය යන මේ චෛතසික දෙක උද්ධචකුක්කුච්ච නීවරණය යි කියනු ලැබේ. එහි උද්ධච්ච යනු සිතේ නොසන්සුන් කමය. කුක්කුච්ච යනු කළ පව් ගැනත් නොකල පින් ගැනත් සිතමින් පසුතැවිලි වීමය. මෙය නීවරණයක් වන්නේ නුපන් කුසල් උපදවා ගැනීමට හෝ උපන් කුසල් පවත්වා ගැනීමට හෝ ඉඩ නොදී වලක්වන නිසාය. මෙයට ප්‍රධාන හේතුව වන්නේ අයෝනිසෝමනසිකාරය යි. මෙකී නීවරණය උපදින කල්හි විපස්සක රෝගී පුද්ගලයා විසින් එය මෙනෙහි කළ යුතුය. කීප වරක් මෙනෙහි කිරීමෙන් එය තදඩ්ග වශයෙන් හෝ විෂ්කම්භන වශයෙන් පහව ය යි. උද්ධචකුක්කුච්චය පහකිරීමට ද ප්‍රධාන හේතුව වන්නේ යෝනිසෝමනසිකාරය යි. මේ උද්දච්චකුක්කුචය සහමුලින් පහව ගොස් නැවත නුපදින තත්වයට පැමිණි කල්හි කුක්කුච්චය අනාගාමි මාර්ගයෙනුත් උද්ධච්චය රහත් මාර්ගයෙනුත් පහව ගිය බව දැන ගන්නේය.

“උද්ධච්චකුක්කුච්චං නාම චිත්තස්ස අවූපසමො” යි කී බැවින් සිතේ නොසන්සුන්කම උද්ධච්චය යි. පසු තැවිල්ලය යි කියන ලද කුක්කුච්චයත් නොසන්සුන්කමට උපකාර වන නිසා ඒ දෙකම එකක් වශයෙන් ගෙන නීවරණයක් ය යි කීහ. විපස්සනා කරන යෝගී පුද්ගලයා විසින් එය “නොසන්සිඳීම, නොසංසිඳීම” ය යි කමටහන් අරමුණක් වශයෙන් මෙනෙහි කළ යුතුය.

තවද කුක්කුච්චය පහකිරීමට උපකාරවන අන් කරුණු සයකුත් ඇත. එනම්,

1. බහුස්සතතා,

2. පරිපුච්ඡකතා,

3. විනයෙපකතඤ්ඤුතා,

4. වුද්ධසෙවිතා,

5. කළ්‍යාණමිත්තතා,

6. සප්පාය කථා යන මේ කරුණු සය ය.

එහි බහුස්සුතතා යනු ධර්මය උගත් බවය. එනම්, දික්සඟිය, මැදුම්සඟිය, සංයුක්තසඟිය, අංගුත්තරසඟිය, කුදුගොත්සඟිය යන මේ නිකාය පොත් වලින් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ සතරක් හෝ පස ම හෝ පාලි වශයෙනුත් අර්ථ වශයෙනුත් ඉගෙනගත් තැනැත්තා බහුශ්‍රැතයා ය. එවැනි බහුශ්‍රැතයන් ඇසුරු කිරීමෙන් චින්තයෙහි නොසන්සුකම පහව යයි.

පරිපුච්ඡකතා යනු ශික්ෂාකාමී භික්ෂුන්ට බෙහෙවින් කැප-අකැප දෙය පිළිබඳව උපදනා සැක කුකුස් දුරු කර ගැනීම සඳහා බහුශ්‍රැතයන්ගෙන් එය අසා දැන ගැනීම ය. එයද චිත්තයෙහි නොසන්සුකම පහව යාමට උපකාර වෙයි.

විනයෙපකතඤ්ඤුතා යනු විනය විනිශ්චය පිළිබඳ මනා දැනීමක් ඇති බව ය.

වුද්ධ සෙවිතා යනු තමාට වඩා ගුණයෙන් - වයසින් වැඩි සිටියන් ඇසුරු කිරීමය. එසේ ඇසුරු කිරීමෙන් ඒ උතුමන්ගේ ගතිගුණ තමා තළ ද ඇතිවිය හැකි බැවින් සිත සන්සුන් වීමෙන් සිතේ නොසන්සුන්ම පහව යයි.

කල්‍යාණමිත්තතා යනු විනයෙහි එතදග්ග ඨානාන්තරය ලබාගත් උපාලි ස්ථවිර ස්වාමීන්වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමය. ශික්ෂකාමී පැවිදි උතුමන්ට බෙහෙවින් කැප - අකැප දැයෙහි නිතරම වාගේ ඇතිවන සැක කුකුස් නිසා චිත්තයෙහි නොසන්සුන්ම ඇති විය හැකි බැවින් එය දුරු කරගැනීමට විනයධර කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතු ය.

සප්පාය කථා යනු ඉඳීම්, සිටීම් ආදී ඉරියව් පවත්වන කල්හි මේ දෙය කැප නිසා එහි අවැත් සිදු නොවේ. මේ දෙය අකැප නිසා එහි ඇවැත් සිදු වන්නේ ය යි මෙසේ කැප-අකැප ඇසුරෙන් පවත්වන කථාවෙන් චිත්ත වික්ෂේපය දුරු කළ හැකි බැවින් එය සප්පාය කථාව යි. මෙකී කරුණු සය උද්ධච්ච කුක්කුච්චය පහව යෑමට උපකාර වෙයි.

5. විචිකිච්ඡා නීවරණය

පාලි

සන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං අත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡාති පජානාති. අසන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං නත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡාති පජානාති.

යථා ච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නාය විචිකිච්ඡාය පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනාය විචිකිච්ඡාය ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.

කෙටි අදහස

තමා තුළ විචිකිච්ඡාව ඇතිව පවතී නම් දැන් මාගේ චිත්ත සන්තානය තුළ විචිකිච්ඡාව ඇතිව පවත්නීයයි දැනගනී. තමා තුළ විචිකිච්ඡාව නැති නම් මාගේ සිත තුළ දැන් විචිකිච්ඡාව උපදිමින් නො පවත්නේ ය යි දැන ගනී. යම් අයෝනිසෝමනසිකාරයක් නිසා මුල දී නූපන් විචිකිච්ඡාව උපදී නම් ඒ අයෝනිසෝමනසිකාරයත් දැන ගනී. යම් යෝනිසෝමනසිකාරයක් නිසා උපන් විචිකිච්ඡාව තදඞ්ග වශයෙන් හෝ විෂ්කම්භන වශයෙන් පහව යයි නම් ඒ යෝනිසෝමනසිකාරයත් දැන ගනී. තදඞ්ග වශයෙන් හෝ විෂ්කම්භන වශයෙන් හෝ පහ වූ විචිකිච්ඡාව යම් සෝවාන් මාර්ගයකින් සහමුලින් පහවෙයි නම් ඒ සෝවාන් මාර්ගය ද දැන ගනී.

එහි විස්තරය

මේ කොටස විචිකිච්ඡා සහිත තැනැත්තා තුළ උපදනා විචිකිච්ඡාව මෙනෙහි කර දැන ගැනිම සඳහා වදාරණ ලදී. විචිකිච්ඡා සහිත පුද්ගලයා නම්, පෘථග්ජනයා මැයි. එහෙයින් පෘථග්ජනයා හෝ වේවා සෝතාපන්න සකදාගාමි, අනාගාමීන් අතුරෙන් යම් ආර්යයෙක් හෝ වේවා හැම කෙනෙකු විසින්ම මේ සතිපට්ඨාන භාවනාව භාවිත කළ යුතු බව ඉතා ප්‍රකට ය. මේ කියමනෙන් සතිපට්ඨාන භාවනාව පෘථග්ජනයාහට අයිති නැත, එය ආර්යයන්ට ම අයත් වූ භාවනාවක්ය යන මිථ්‍යා මතය ප්‍රතික්ෂිත වන්නේ ය.

ඇතැමෙක් හට වනාහි “සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථංගමාය” යන දේශනා පාඨය හා “දිට්ඨෙ වා ධමමේ අඤ්ඤා, සති වා උපාදිසේසෙ අනාගාමිතා” යන දේශනා පාඨය ද සාධක කොට සොකපරිදේව දුක්ඛ දෝමනස්සයන් සෝවාන් මගින් නො පහ කළ හැකි ය යි ද අනාගාමි, රහත් යන දෙමගින් ම පහ කළ යුතු ය යි ද වැරදි හැඟීමක් ඇති විය හැකි ය. තව ද සතිපට්ඨාන භාවනාව සෝක පරිදේව ආදිය සහමුලින් පහකළ හැකි අනාගාමි රහත් යන මාර්ග දෙක සඳහා ම පවත්නේ ය යි ද මේ සතිපට්ඨාන භාවනාව භාවිත කරන තැනැත්තා අනාගාමී බවට හා රහත් බවට පැමිණෙනු මිස සෝවාන් බවට හෝ සකදාගාමි බවට නො පැමිණෙන්නේ ය යනු ද ඒ වැරදි හැඟීම යි.

ඒ වැරදි හැඟීම වනාහි “අත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡාති පජානාති” යි වදාළ පරිදි මාගේ සිත් සතන්හි විචිකිච්ඡාව ඇතැ යි දැන ගනී යන මේ දේශනාව නො සලකා වරදවා ගත් අදහසකි. බුදු රජාණන් වහන්සේ ගේ මූලික අදහස නම්, මේ සතිපට්ඨාන භාවනාවේ නියම බලය ඇති තාක් ප්‍රකට කොට දැක්වීම ය. සතිපට්ඨාන භාවනාවේ නියම ශක්තිය වනාහි එම භාවනාව කරන තැනැත්තා අපාය දුකින් මුදවාලීම පමණක් නොව අවසානයේ දී ලෝකයෙහි පවත්නා කරදර පීඩාවලින් මුදවාලීම ය. එහෙයින් “සොක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය” යි වදාළ සේක.

තවද සතිපට්ඨාන භාවනාවෙන් සෝවාන් බව හා සකදාගාමි බව ද ඒකාන්තයෙන් ම ලබාගත හැකි ය. එපමණක් ද නොව රහත් බව දක්වා ම ප්‍රතිඵල ලබා ගත හැකි බව ද සැලකිය යුතුයි. එහෙයින් “දිට්ඨෙ ව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා” යනුවෙන් ඒ භාවනාවෙන් ලැබෙන අවසාන ප්‍රතිඵලය දක්වා වදාළ සේක. මෙසේ දැක්වීමෙන් පූර්ව භාගයෙහි පවත්නා විදර්ශනා ඥාන පරම්පරාව සහ සෝවාන් මාර්ග ඵල, සකදාගාමී මාර්ගඵලයන් ද පළමුකොට ම ලබාගත හැකි ය යන අදහස ඤාණවන්තයා හට අවබෝධ විය යුතු ය.

මෙහි විචිකිච්ඡා චෛතසිකය ම කුශල ධර්මයන් ආවරණය කරන බැවින් විචිකිච්ඡා නීවරණ යයි. එනම්, බුද්ධා දී අට තැන්හි පවත්නා සැක ය යි.

මේ විචිකිච්ඡාවට ද අයෝනිසෝමනසිකාරය ප්‍රධාන හේතුව වෙයි. යෝනිසෝමනසිකාරය උපදවා ගැනීමෙන් විචිකිච්ඡාව පහව යයි. තවද විචිකිච්ඡාව පහ කිරීමට උපකාර වන කරුණු සයක් ද ඇත. එනම්,

1. බහුස්සුතතා,

2. පරිපුච්ඡ කතා,

3. විනයෙ පකතඤ්ඤුතා,

4. අධිමොක්ඛ බහුලතා,

5. කල්‍යාණමිත්තතා,

6. සප්පාය කථා

යනු ඒ කරුණු සය යි. එහි බහුස්සුතතාව පෙර කීසේ දතයුතු යි. පරිපුච්ඡකතා යනු බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය අරභයා කරුණු විචාරා දැන ගැනීමය. රත්නත්‍රය මුල් කොට පවත්නා විචිකිච්ඡාව සෙසු විචිකිච්ඡාවන්ට ද මූලික වන්නීය. විනයෙ පකතඤ්ඤුතා යනු විනය ශික්ෂා පද විනිශ්චය කිරීමෙහි දක්ෂ භාවය යි.. එවිට ශික්ෂාව පිළිබඳ සැකය දුරුවෙයි. එසේම රත්නත්‍රයේ ගුණය අවබෝධ වීමෙන් පූර්වාන්තාදිය පිළිබඳ සැකය ද දුරු වෙයි.

අධිමොක්ඛබහුලතා යනු රත්නත්‍රය කෙරෙහි පවත්නා ගුණ විනිශ්චය කළ හැකි ශ්‍රද්ධාධිමොක්ෂය බහුලකොට ඇති බවය. කල්‍යාණමිත්තතා යනු වක්කලි ස්ථවිර ස්වාමීන් වහන්සේ වැනි සැදැහැවත් උතුමන් ඇසුරු කිරීමය. සප්පාය කථා යනු ඉඳීම් සිටීම් ආදී ඉරියව් පවත්වන හැම අවස්ථාවකදීම රන්නත්‍රය පිළිබඳ ගුණ ප්‍රකාශ වන කථා සල්ලාප පැවැත්වීමය. මේ දැක් වූ කරුණු සය ද විචිකිච්ඡා නීවරණය පහ කිරීමට උපකාර වෙයි.

එහි වක්කලි ස්වාමීන් චහන්සේගේ කථා ප්‍රවෘත්තිය මෙසේයි: උන් වහන්සේ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සිට නිවන් සඳහා පාරමී කුසල් රැස්කරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර බ්‍රාහ්මණ කුලයක ඉපිද තරුණ වයසට පැමිණ සැදැහැවත් කුලපුත්‍රයෙක්ව සිටින අතර පිඩු පිණිස නගරයට වැඩිය තථාගතයන් වහන්සේ දැක උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි රූප සම්පත්තිය දෙස බලා එපමණකින් සෑහීමට නොපැමිණියේ නිතරම බුදුන් දකිමින් සිටින්ට ඕනෑය යන අභිලාෂයෙන් බුදු සසුනෙහි පැවිදි ව සජ්ඣායනය හෝ කමටහන් මෙනෙහි කිරීම් ආදිය නො කොට තථාගතයන් වහන්සේ වෙත එළඹ උන්වහන්සේගේ ශ්‍රී දේහය දෙස බලමින් සිටියේය. ශාස්තෘන් වහන්සේ ද ඒ භික්ෂුවගේ ඤාණය මෝරන තෙක් කිසිවක් නො කියා සිට ඤාණය මුහු කළ බව දැනගත් පසු “කිං තෙ වක්කලි ඉමිනා පූතිකායෙන දිට්ඨෙන, යො ඛො වක්කලි ධම්මං පස්සති, සො මං පස්සති” යනුවෙන් වක්කලි ඔබට මාගේ මේ කුණු කය දෙස බලා සිටීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද? යමෙක් ශරීරය පිළිබඳ නිත්‍ය නොවන, සැප නොවන ආත්ම සාරයක් නො වන, සුභ නොවන ධර්ම ස්වභාවය දකීනම් හෙතෙම මා දන්නේ වේ” ය යි අවවාද කර වදාළ සේක.

එසේ අවවාද කළ පසු ද බුදුන් දැකීම අත්හැර අන් තැනකට නොගියේ ය. එවිට ශාස්තෘන්වහන්සේ “මේ භික්ෂු තෙම සංවේගයට නොපැමිණ මාර්ග ඵලාධිගමය නොකරන්නේය” යි දැන වස් එළඹෙන දිනයෙහි රජගහ නුවරට වැඩමවා “වක්කලි! ඔබ මා වෙත එන්ට එපා, මා වෙත එන්ට එපා” ය යි උන්වහන්සේ කෙරෙන් එලවා හරින ලදී. ඉන් පසු තෙමසක් ම ශාස්තෘන් වහන්සේ හමුවන්ට නොලැබුන නිසා “මාහට ජීවත්වීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද? මේ පර්වතයෙන් පැන දිවි නසා ගන්නෙමැ”යි සිතා ගිජ්ජකූට පර්වතයට නැග ගත්ය. ශාස්තෘන් වහන්සේ ඒ බව දැක “මේ භික්ෂුව මා කෙරෙන් සැනසිල්ලක් නො ලද හොත් මාර්ග ඵල ලබා ගැනීමේ හේතු සම්පත් නසා ගන්නේ ය” යි දැන බුද්ධ ශරීරය දක්වනු පිණිස රශ්මි මාලාවක් නිකුත් කළ සේක. ඉක්බිති ශ්‍රී දේහය දැක සෝකය සංසිඳුන්නේය. සෝකය සංසිඳුනු පසු වක්කලි භික්ෂුවට බලවත් ප්‍රීතිප්‍රමෝද්‍යය උපදවනු පිණිස,

“පාමොජ්ජ බහුලො භික්ඛු - පසන්නො බුද්ධසාසනෙ,

අධිගච්ඡේ පදං සන්තං - සඞ්ඛාරූපසමං සුඛං”

යි වදාළ සේක.

ප්‍රකෘතියෙන් ම ප්‍රීතිය හා ප්‍රමෝදය බහුල පුද්ගලයා බුදු සසුනෙහි ශ්‍රද්ධා ප්‍රසාදය රුචි කරයි. බුදු සසුනෙහි පැහැදුනා වූ හෙතෙම සියලු සංස්කාරයන් සංසිඳුනු සදාකාලික නිර්වාණ සුවය අවබෝධ කරන්නේය” යනු එහි අදහස යි. මෙසේ වදාරමින් වක්කලි හිමියන් දෙසට ශ්‍රී හස්තය දිගුකරමින්:

“එහි වක්කලි මා භායි - ඔලොකෙහි තථාගතං,

අහංත්වං උද්ධරිස්සාමි - පඞ්කෙ සන්නංච කුඤ්ජරං”

යයි ද වදාළ සේක.

“වක්කලි! මෙහි එව, භය නොවෙව, ඔබ කැමති සේ තථාගතයන් දෙස බලව, මඩේ එරුණු හස්තියෙකු ගොඩ ගන්නාක් මෙන් මම තොප සසර සයුරෙන් ගොඩලන්නෙමි” යනු එහි අදහස යි.

එය අසා බලවත් ප්‍රීතිය උපදවා භාග්‍යවතුන් වහන්සේ හමුවට පර්වතයෙන් බසිද්දී ආකාශයෙහිදී ම ඒ ප්‍රීතිය විෂ්කම්භනය කොට සිවුපිළිසිඹියා සහිත රහත් බවට පැමිණ පර්වතයෙන් බැස තථාගතයන් වහන්සේට වඳිමින් ම උන්වහන්සේ ළඟට එළඹ සිටියේය. පසු ව භාග්‍යවතුන් වහන්සේ විසින් වක්කලි රහතුන් වහන්සේ බලවත් ශ්‍රද්ධාව ඇති භික්ෂූන් අතුරෙහි අග්‍ර ස්ථානාන්තරයෙහි පිහිටුවා වදාළ සේක.

පාලි

ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නිවාරණසු.

කෙටි අදහස

මෙසේ තමා තුළ පවත්නා නීවරණ ධර්මයන් කෙරෙහි ද ස්වභාව ධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කරයි, අනුන් තුළ පවත්නා නීවරණ ධර්මයන් කෙරෙහිද ස්වභාව ධර්ම මාත්‍රය අරමුණු කරමින් වාසය කරයි. ඇතැම් විට තමා තුළ පවත්නා නීවරණ ධර්මයන් කෙරෙහි හෝ ඇතැම් විට අනුන් තුළ පවත්නා නීවරණ ධර්මයන් කෙරෙහි හෝ ස්වභාව ධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කරයි.

නීවරණ ධර්මයන් කෙරෙහි උපදවන ප්‍රත්‍යය හා ඉපදීම අනුව බලමින් වාසය කරයි. නීවරණ ධර්මයන් නැතිව යාමේ ප්‍රත්‍යය හා නැතිවීම අනුව බලමින් වාසය කරයි, නීවරණ ධර්මයන් කෙරෙහි උපදවන ප්‍රත්‍යය හා ඉපදීම ද නැතිව යාමේ ප්‍රත්‍යය හා නැතිවීම ද අනුව බලමින් වාසය කරයි.

සත්ව පුද්ගල නොවන ස්වභාව ධර්මයෝ ම විද්‍යමානව ඇතැයි ඒ යෝගී පුද්ගලයාහට සිහිය එළඹ සිටියා වෙයි, ඒ සිහිය පිළිවෙළින් ඥාණය වැඩි දියුණු වීම පිණිස ම වෙයි. නැවතත් පිළිවෙළින් සිහිය වැඩි දියුණු වීම පිණිස ද වෙයි.

වැඩි දියුණු වූ සිහිය හා ඤාණය ඇති ඒ යෝගී තෙම තණ්හා දිට්ඨි දෙක ඇසුරු නො කොට ද වාසය කරයි, එහෙයින් පඤ්ච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේ කිසිවක් මමය මාගේ යයි තණ්හා දිට්ඨි දෙකින් තදින් අල්ලා නොගනී. මහණෙනි! යෝගී තෙම පඤ්ච නීවරණ ධර්මයන් කෙරෙහි මෙසේ කියන ලද නයින් ද සත්ව පුද්ගල නො වන ස්වභාව ධර්මයන් කෙරෙහි ස්වභාව ධර්ම අනුව බලමින් වාසය කරයි.

විචිකිච්ඡාව උපදනා කල්හි “සැකයක්, සැකයක්” කියා මෙනෙහි කළ යුතුය. කීප වරක් මෙනෙහි කළහොත් සැකය දුරුවෙයි. නීවරණ පඤ්චකය අතුරෙන් විචිකිච්ඡාව සහමුලින් පහව යන්නේ සෝවාන් මගින්ය. එසේ ම ව්‍යාපාදය හා කුක්කුච්චය අනාගාමි මාර්ගයෙන් සහමුලින් පහව යයි. කාමච්ඡන්දය මෙන් ගැනෙනුයේ ලෝභ ය යි: ඒ ලෝභය හා ථීනමිද්ධ උද්ධච්ච යන මොවුහු රහත් මගින් සහමුලින් පහව යති.

ඒ ඒ නීවරණයන් සහමුලින් පහකොට ඒ ඒ මාර්ගයට පැමිණි කල්හි එසේ පහකළ බව ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දත හැකි ය. මාර්ග ඥානය ලැබෙන්න පෙර ද යට කී නයින් ඒ කෙලෙසුන් පහව යන බව යෝගී පුද්ගලයා දැන ගන්නේ ය. එසේ දැන ගන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් නොව ශ්‍රැතමය ඥානයෙන් හා චින්තාමය ඥානයෙනි.

නීවරණ පබ්බය නිමි.

ධම්මානුපස්සනාවේ (2) ඛන්ධ පබ්බය

මෙසේ පඤ්ච නීවරණයන් වශයෙන් ධම්මානුපස්සනාව දෙශනාකොට වදාරා දැන් පඤ්චස්කන්ධයන් ගේ වශයෙන් ධම්මානුපස්සනාව බෙදා දක්වනු පිණිස “පුනං ච පරං” යන ආදිය වදාළ සේක.

පාලි

පුන ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති, පඤ්චසු උපාදානක්ඛන්ධෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති, පඤ්චසු උපාදානක්ඛන්ධෙසු. ඉධ භික්ඛවෙ භික්ඛු ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො. ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමොති.

ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති . එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු.

කෙටි අදහස

මහණෙනි! නැවත ද අනික් මෙනෙහි කිරීම් ක්‍රමයක් කියනු ලැබේ. මහණෙනි! පසක් වූ උපාදානස්කන්ධ ධර්‍ම සංඛ්‍යාත ස්වභාව ධර්මයන් කෙරෙහි යෝගී පුද්ගල තෙම සත්ව පුද්ගල නො වන ස්වභාව ධර්‍ම මාත්‍රය අනුව බලමින් වාසය කරයි. කෙසේ වාසය කරයිද? මහණෙනි! මේ බුදු සසුනෙහි යෝගි තෙම පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි මතු දැක්වෙන පරිදි දැන ගන්නේ ය.

මෙය වනාහි රූපය යි. රූපය හටගන්නා ප්‍රත්‍යය හා හටගැනීම මෙසේ ය යි ද, රූපය නැති ව යන වේදනාව හටගන්නා ප්‍රත්‍යය හා හට ගැනීම මෙසේ ය යි ද වේදනාව නැතිව යන ප්‍රත්‍යය හා නැති වීම මෙසේ යයි ද, මෙය සංඥාව යි. සංඥාව හටගන්නා ප්‍රත්‍යය හා හට ගැනීම මෙසේ යයි ද සංඥාව නැතිව යන ප්‍රත්‍යය හා නැති වීම මෙසේ ය යි ද, මොවුහු සංඛාරයෝ ය. සංඛාරයන් හටගන්නා ප්‍රත්‍යය හා හට ගැනීම මෙසේ යයි ද, සංඛාරයන් නැතිව යන ප්‍රත්‍යය හා නැති වීම මෙසේ යයි ද, මෙය විඤ්ඤාණයයි විඤ්ඤාණය හටගන්නා ප්‍රත්‍යය හා හට ගැනීම මෙසේ ය යි ද, විඤ්ඤාණය නැතිව යන ප්‍රත්‍යය හා නැති වීම මෙසේ ය යි ද දැන ගන්නේ ය.

“ඉති අජ්ඣත්තං වා” යන ආදියෙහි අදහස ඉහත කී සේයි.

එහි විස්තරය: “ඇසෙනවා දකිනවා” යන ආදිය ස්කන්ධයන්ගේ වශයෙන් මෙනෙහි කිරීමෙන් ස්කන්ධ පඤ්චකය පිරිසිඳ දත හැකි ය. ආයතන හා ධාතු වශයෙන් මෙනෙහි කිරීමෙන් එය ද දත හැකි ය. නාම රූප දේශනාව අනුව මෙනෙහි කළහොත් නාමරූප දෙක පිරිසිඳ දත හැකි ය.

ස්කන්ධ පඤචකය දැනගන්නා ආකාරය.

රූපයක් දකිමින් සිටින කල්හි “දකිනවා” යයි මෙනෙහි කරන යෝගි තෙම ප්‍රධාන වශයෙන් ඇසේ පවත්නා චක්ෂු ප්‍රසාදය සහ දකිනු ලබන වර්ණායතන සංඛ්‍යාත රූපස්කන්ධ ය දන්නා බව දැන ගන්නේ ය.

ඉක්බිති දැකීමෙන් මිහිරි බව හෝ අමිහිරි බව හෝ මිහිරි ද නැති අමිහිරි ද නැති මැදහත් බව හෝ විඳින කල්හි ප්‍රධාන වශයෙන් වේදනාස්කන්ධය ඇති බව දැන ගන්නේ ය.

දක්නා ලද අරමුණ හඳුනන කල්හි සංඥාස්කන්ධය උපදනා බව දැන ගන්නේ ය.

සිත රූපය හා එකට ගැටෙන ඵස්සය ද දැකීමට සිත පුබුදු කරවන මෙහෙයන චේතනාව ද රූපයට ආසා උපදවන ලෝභය ද ප්‍රසාදය උපදවන ශ්‍රද්ධාව ද යන මේ ආදි භාව ධර්මයන් උපදනා බව වැටහෙන කල්හි සංස්කාර ස්කන්ධය ඇති බව වැටහෙන්නේ ය.

දන්නා සිත ප්‍රධාන කොට දැනෙන කල්හි විඥාන ස්කන්ධය ඇති බව දැන ගන්නේ ය.

මෙසේ රූප - වේදනා ආදී ස්කන්ධ පස දැනගැනීම සඳහා “ඉතිරූපං, ඉති වේදනා, ඉති සඤ්ඤා, ඉති සංඛාරා, ඉති විඤ්ඤාණං” යි දේශනා කළ සේක.

ශබ්ද - ගන්ධ - රස - පොට්ඨබ්බ අරමුණු හමුවන කල්හි ද මෙසේ ම ස්කන්ධ පඤ්චකය බෙදා දැන ගත යුතු ය. යෝගී පුද්ගලයා විසින් අත පය ආදී ශරීර අවයවයක් හකුලන කල්හි “හකුලන්ට ඕනෑ” ය යි පළමු ව මෙනෙහි කළ යුතු ය. ඊට පසු හැකිලිය යුතු ය. හකුලන විට හකුලන ආකාරයෙන් චලනය වන රූප කොටස “රූපස්කන්ධය” යි දැන ගන්නේ ය. භකුලන්ට ඕනෑ ය යන සිත “විඥානස්කන්ධය” යි දැන ගන්නේ ය. හැකිලීම හා සමග සිතේ ගැටෙන ඵස්සය හැකිලීමට අණ දෙන චේතනාව ආදී සංස්කාරකන්ධය ද දැන ගන්නේ ය. වේදනාව හා සංඥාව බොහෝ සෙයින් අප්‍රකට ව ඇති විය හැකි ය. එය ප්‍රකට වන කල්හි හැකිලීමේ හොඳ - නොහොඳ ස්වභාවය වූ වේදනා ස්කන්ධය ද දැන ගන්නේ ය. හකුලනවා ය යි ලකුණු කර ගන්නා සංඥාස්කන්ධය ද දැන ගන්නේ ය. ශරීර අවයවයන් පිළිබඳ දිග හැරීම් ආදිය කරන කල්හි ද මේ නය ක්‍රමය ම දත යුතු ය.

මෙසේ දැනගෙන නාම රූප පරිච්ඡේද ඤාණය ලබාගත් කල්හි ශීතෝෂ්ණාදිය නිසා විකාර වන රූප මෙපමණක් ය, ආරම්මණ රසය භුක්ති විඳින වේදනා මෙපමණක් ය, අරමුණු හඳුනන සංඥා මෙපමණක් ය, ක්‍රියා සකස් කරන - නිපදවන සංස්කාර මෙපමණක් ය, අරමුණු දැන ගන්නා විඤ්ඤාණ මෙපමණක් ම ය යි පිරිසිඳ දැන ගන්නේ ය. මෙසේ දැන ගැනීම වනාහි අභිධර්‍ම ස්වරූප විභාගයේ දී මෙන් සංඛ්‍යා වශයෙන් ගණන් කර දැන ගැනීම නො වේ.

විදර්ශනා ඥානයෙහි ඒ ස්කන්ධ කොටස් පහ වෙන් වෙන් ව ප්‍රකට ව වැටහී එන වාරයක් පාසා පිරිසිදු අවබෝධය ඇති වූ බැවින්, ශරීරය තුළ ඤාණයෙන් නො දක්නා ලද රූප වේදනා ආදියක් නො මැත්තේ ය යි විනිශ්චය කොට දත හැකි වන්නේ ය. මෙසේ දත හැකි වීම ද “ඉති රූපං ඉති වේදනා” යන ආදී දේශනා පාඨය අනුව දක්වන ලදී.

“ඉති රූපන්ති ඉදං රූපං එත්තකං රූපං, න ඉතො පරං රූපං අත්ථීති සභාවතො පජානාති වෙදනාදීසු පි එසෙව නයො” (අටුවාව)

එහි තේරුම

ඉති රූපං යන තන්හි මෙය රූපයකි, රූපය මෙපමණ යි, මීට වඩා රූපයක් නැතැයි ස්වභාව ලක්ෂණ වශයෙන් රූපය දැන ගන්නේ ය. වේදනා ආදියෙහි ද මේ නය මැයි.

රූපය පිළිබඳ සමුදය - වය දැන ගන්නා ආකාරය

රූප අරමුණක් දකින කල්හි “දකිනවා, දකිනවා” ය යි මෙනෙහි කිරීමක් පාසා චක්‍ෂු ප්‍රාසාදය සහ රූපා රම්මණය යන මේ රූප ධර්මයන් තත්පරයක් ඇතුළත අනේක වාර ගණනක් ඉපිද නැති ව යන බව යෝගාවචරයාහට දැනගත හැකි වන්නේ ය.

මෙසේ දැන ගැනීම සමුදය (හටගැනීම්) ලක්ෂණ ය යි කියන ලද ඉපදීමය, වය (නැති වීම්) ලක්ෂණ ය යි කියන ලද අතුරු දන්වීම ය යන මේ දෙ කරුණ ඇසින් දකින්නාක් මෙන් ප්‍රත්‍යක්ෂ ව දකිනු ලබන්නේ උදයබ්බය ඤාණයෙනි. බාල පෘථග්ජනයා වනාහි නාම රූප දෙක සැප ය, හොඳ ය, සුභ ය යි කියා වැරදි ආකාරයෙන් වටහා ගන්නේ ය. එය දුකක් ය. හොඳ නැත, අසෝභන ය යි කියා දැන නො ගන්නේ ය. වටහා නො ගනේ ය. ඇති විය හැකි නාම රූප නැවත නො ඉපදී සහමුලින් නිරුද්ධ වී යෑම සැපයක් ය, හොඳක් ය යි කියා නො දන්නේ ය. නො වැටහෙන්නේ ය. මේ නො දැනීම අවිද්‍යාව යි. පූර්ව භවයෙහි ඉපිද කම් රැස් කරද්දී මේ නො දැනීම වූ මුළාව නිසා නාම රූප ධර්මයන් කෙරෙහි ආශ්වාදය ඇති වීය. එහෙයින් ඒ ආශ්වාදයට ගොදුරු වූ නාම රූප ධර්මයන් සඳහා යම්කිසි ආකර්මයක් රැස් කළ යුතු ය. එනම්, කුශල කර්මය හෝ අකුශල කර්මයකි. මේ මිනිස් භවයට ප්‍රත්‍යය වූයේ කුශල කර්‍මයන්මැ යි.

විදර්ශනා වඩන යෝගී පුද්ගල තෙම පූර්ව භාගයෙහි ම “දිට්ඨි ච උජුකා” යනුවෙන් කුශල කර්මයෙන් හොඳ සැප විපාක ද, අකුශල කර්මයෙන් නරක දුක් විපාක ද ලැබෙන බව ශ්‍රැතමය ඥානයෙන් දැන විශ්වාස කර යි. විදර්ශනා වඩන කල්හි නාම රූපයන් උපදවන ප්‍රත්‍යය සහ ඔවුන්ගේ ඇති වීම හා නැති වීම ද ප්‍රත්‍යක්ෂ කොට දැන ගන්නේ ය. එහෙයින් දිට්ඨ සුත වශයෙන් දැකීමෙනුත් ඇසීමෙනුත් මතු දැක්වෙන නය ක්‍රමයෙන් ද ඒ බව දත හැකි වන්නේ ය. පූර්ව භවයෙහි දී ඇති වූ අවිද්‍යා නමැති මුළාව නිසා මේ රූපය ඇති වෙ යි. අවිද්‍යාව නැතහොත් රූපය ඇති නො වෙ යි. ආස්වාද කරමින් ප්‍රාර්ථනා කරන තණ්හාව නිසා රූපය ඇති වෙ යි. තණ්හාව නැත හොත් රූපය ඇති නො වෙ යි. පුර්ව භවයෙහි දී කරනු ලැබූ කුශල කර්මය නිසා මේ මනුෂ්‍ය රූපය ඇති වෙයි. ඒ කර්මය නැත හොත් මේ රූපය ඇති නො වේ. මේ භවයෙහි දී අනුභව කරන ආහාරය නිසා මේ රූපය ඇති වෙයි. ආහාරය නො ගත හොත් මේ රූපය ඇති නො වේ ය යි මෙසේ මෙනෙහි කොට දැන ගන්නේ ය. මෙසේ දැන ගැනීම සඳහා “අවිජ්ජා සමුදයා රූප සමුදයෝ, අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ” යන ආදී වශයෙන් පටිසම්භිදා මග්ගයෙහි එන පරිදි සමුදය (රූපය හටගන්නා ප්‍රත්‍යය) හා වය (රූපය නැතිව යන ප්‍රත්‍යය) ද අනුමාන වශයෙන් දැන ගන්නා උදයබ්බයඤාණය පහළ වන බව දක්වා තිබේ.

තව ද ශරීර අවයවයක් “නමන්ට ඕනෑය” යන සිතක් පහළ වුව හොත් නැමීම පිළිබඳ රූප ඇති වෙයි. එවැනි සිතක් පහළ නො වුවහොත් නැමීම පිළිබඳ රූප ඇති නො වෙයි. එවිට ඒ ගැන දැනීම ඇති වන්නේ ය.

එසේ ම සීත වූ හෝ උණුසුම් ඍතුව ඇති වුව හොත් සිහිල් රූප හෝ උණුසුම් රූප ඇති විය හැකි ය. එවිට ඒ බව දැනගන්නේ ය. එවැනි රූප ඇති නො වුවහොත් ඒ බව ද දැනගන්නේ ය.

මේ භවයෙහි දී ලැබෙන ආහාරය නිසා රූප ඇති වුවහොත් ඒ බව ද දැන ගන්නේ ය. ආහාරය නැති නිසා රූප ඇති නො වුවහොත් ඒ බව ද දැනගන්නේය. “ආහාර සමුදයා රූප සමුදයෝ, ආහාර නිරෝධා රූප නිරෝධෝ” යි දැක්වූයේ ත් ඒ සඳහා ය.

මේ දැක් වූ නය ක්‍රමයෙන් රූපයේ ඇති වීම නැති වීම යන දෙක ද ඇති වීමේ ප්‍රත්‍යය හා නැති වීමේ ප්‍රත්‍යය ද දත හැකි වෙයි. එහෙයින් “ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ථගමෝ” යි වදාළ සේක.

වේදනාවේ සමුදය - වය දැනගන්නා ආකාරය.

කය හා සිත සුවපත් වීම, සිත සතුටු වීම සුඛ වේදනාව යි. කය හා සිත දුක් වීම, සිත නරක් වීම දුක්ඛ වේදනාව යි. දුක ද නො වූ සැප ද නො වූ මැදහත් බව උපෙක්ඛා වේදනාව යි. මෙකී වේදනාවන් අතුරෙන් සුඛ වේදනාව “සැපයි, සැපයි” කියා හෝ “හොඳයි, හොඳයි” කියා හෝ මෙනෙහි කිරීමෙන්, මෙනෙහි කිරීමක් පාසා එක තත්පරයක් ඇතුළත එක ම වේදනාවක් අනේක වාරයක් ඇති ව නැති වන බව යෝගී පුද්ගලයාහට දැනගත හැකි වන්නේ ය. සෙසු වේදනාවන් ගැන ද මෙසේ මැයි. මෙසේ දැනගත හැකි වීම සමුදයවය (ඇතිවීම හා නැතිවීම) ප්‍රත්‍යක්ෂ ව දැක ගන්නා උදයබ්බය ඤාණය යි කියනු ලැබේ.

පූර්ව භවයෙහි දී ඇති වූ අවිද්‍යා නමැති මුළාව නිසා මේ වේදනාව ඇති වෙයි. අවිද්‍යාව නැත හොත් වේදනාව ඇති නො වෙයි. වේදනාව ගැන ආස්වාද කරමින් ප්‍රාර්ථනා කරන තණ්හාව නිසා වේදනාව ඇති වෙයි. තණ්හාව නැත හොත් වේදනාව ඇති නො වෙයි. පෙර දී කළ කර්මය නිසා වේදනාව ඇති වෙයි. කර්‍මය නැත හොත් වේදනාව ඇති නො වෙයි. දැන් සිත අරමුණ හා ගැටෙන ඵස්සය නිසා වේදනාව ඇති වෙයි. ඵස්සය නැත හොත් වේදනාව ඇති නො වෙයි. මෙසේ විමසමින් දැන ගන්නේ ය. මෙසේ දැන ගැනීම සමුදය-වය (වේදනා උපදවන ප්‍රත්‍යය හා නූපදවන ප්‍රත්‍යය) අනුමාන වශයෙන් දැන ගන්නා උදයබ්බය ඤාණය යි.

තවද සිත ඇසුරු කරන වස්තු රූපය නිසා මේ වේදනාව ඇති වෙ යි. වස්තු රූපය නැත හොත් වේදනාව ඇති නො වෙයි. අරමුණ ඇති නිසා මේ වේදනාව ඇති වෙයි. අරමුණ නැතහොත් වේදනාව ඇති නොවේ. මේ ආදී වශයෙන් ඵස්සයෙන් අන්‍ය වූ වර්තමාන හේතූන් දැන ගැනීම ද “ඵස්ස සමුදයා වේදනා සමුදයෝ, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ” යන මේ පාඨයෙහි ඇතුළත් වෙයි.

සඤ්ඤා සංඛාරයගේ උදය වය දැන ගන්නා ආකාරය ද මේ වේදනාවේ උදය-වය දැන ගන්නා ආකාරය හා සමාන වෙයි. එය “ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්ථගමෝ, ඉති සඤ්ඤාය සමුදයෝ” යන ආදිය අනුව දතයුතු ය.

විඤ්ඤාණයේ සමුදය-වය දැනගන්නා ආකාරය.

දක්නා කල්හි, ඇසෙන කල්හි, කල්පනා කරන කල්හි, සිතන කල්හි, ශරීරාඞ්ග හකුලන කල්හි, දිග හරින කල්හි “දකිනවා, ඇසෙනවා, කල්පනා කරනවා, සිතනවා, හකුලන්න ඕනෑ, දිගහරින්ට ඕනෑ” යන ආදී වශයෙන් මෙනෙහි කිරීමක් පාසා දැකීම් ආදිය සිදු කරන සිත් තත්පරයක් ඇතුළත අනේක වාර ගණනක් වහා ඇති ව වහා නැති ව යන බව යෝගී පුද්ගලයා දැනගන්නේ ය. මෙසේ දැන ගැනීම නම්, සමුදය ලක්ෂණ ය යි කියන ලද ඉපදීම දැන ගැනීම ය. වය (විපරිනාම) ලක්ෂණ ය යි කියන ලද නැති වීම දැන ගැනීම ය. මෙසේ විඤ්ඤාණය පිළිබඳ ඇති වීම නැතිවීම ප්‍රත්‍යක්ෂ ව දැන ගැනීම උදයබ්බයඤාණය යි.

ඉකුත් භවයේ දී ඇති වූ අවිද්‍යාව ය යි කියන ලද මෝඩකම නිසා මේ සිත ඇති වි ය. ඒ මෝඩකම නැත හොත් මේ සිත ඇති නො වේ. ආශාව හෝ තණ්හාව නිසා මේ සිත ඇති වෙයි. ආසාව හෝ තණ්හාව දුරුකළ හොත් මේ සිත ඇති නො වේ. පෙර කළ කර්මය නිසා මේ සිත ඇති වෙයි. කර්මය නැත හොත් මේ සිත ඇති නොවේ. ඵස්ස වේදනා ආදී නාම ධර්මයන් හා සිත ඇසුරු කරන වස්තු රූපත් නිසා මේ සිත ඇති වෙයි. ඒ නාම රූපයන් නැත හොත් මේ සිත ඇති නො වෙ යි. මෙසේ සිත ගැන විමසා දැනගන්නේ ය. මේ දැන ගැනීම සිත උපදවන සමුදය (ප්‍රත්‍යය) ධර්මයන් හා සිත නිරුද්ධ කර වන වය (වැය) කර වන ප්‍රත්‍යය ධර්මයන් අනුමාන වශයෙන් දැන ගන්නා උදයබ්බය ඤාණය යි. අරමුණක් ඇති නිසා සිත උපදන්නේ ය. පූර්ව පූර්ව සිතක් ඇති නිසා පසු පසු සිත උපදන්නේ ය. පූර්ව සිතක් නැත හොත් පසු සිත ඇති නො වන්නේ ය යි යෝගී පුද්ගලයා දැන ගන්නේ ය. මේ බව “නාමරූප සමුදයා විඤ්ඤාණ සමුදයෝ, නාමරූප නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ” යන මේ පාඨයෙහි ඇතුළත් විය. මේ දැක් වූයේ “ඉතිවිඤ්ඤාණස්ස සමුදයෝ. ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමෝ” යන මේ දෙශනා පාඨයට ගැළපෙන සේ යි.

මෙසේ කියන ලද නය ක්‍රමයෙන් එක් එක් ස්කන්ධයෙක්හි උත්පාදය දැන ගැනීම් එකකි. භඞ්ගය දැන ගැනීම් එකකි. ස්කන්ධයන් උපදවන ප්‍රත්‍යය දැන ගැනීම් සතරකි. නිරුද්ධ වන ප්‍රත්‍යය දැන ගැනීම් සතරකි. මෙසේ ඤාණ දසයක් වේ. එහෙයින් ස්කන්ධ පංචකයෙහි ඤාණ පණසක් (50) විය හැකි ය. එකී ඤාණ පණස ම ස්කන්ධයගේ ලක්ෂණ පණස දැන ගන්නා උදයබ්බයඤාණය යි අටුවාවෙහි දක්වන ලදී. එයිනුත් උත්පාදනය හා භය දක්නා ඤාණ දසය ම අවශ්‍යයෙන් දැනගත යුතු ය.

මෙහි දී විශේෂයෙන් කිව යුත්තක් ඇත. එනම්, මෙය විදර්ශනා භාවනාවක් වූ බැවින් “පඤ්චසු උපාදානක්ඛන්ධෙසු” ය යි වදාළ පරිදි විදර්ශනාවට අරමුණු වශයෙන් ගත යුත්තේ උපාදාන ස්කන්ධ පඤ්චක ය යි. එයම තණ්හා දිට්ඨි උපාදානයන් විසින් මම ය මාගේ ය යි තදින් ගන්නා බැවිනි. උපාදාන ස්කන්ධ වනුයේ ලෞකික ස්කන්ධ පඤ්චක ය යි. ලෝකෝත්තර ස්කන්ධයෝ උපාදාන ස්කන්ධ නම් නො වෙති. ඒ ලෝකෝත්තර ධර්ම උපාදානයන්ට අරමුණු නො වන නිසා විදර්ශනාවගේ අරමුණු වශයෙනුත් නො ගැනෙති.

ඛන්ධ පබ්බය නිමි.

ධම්මානුපස්සනාවේ (3) ආයතන පබ්බය

මෙසේ පඤ්චවිධ උපාදාන ස්කන්ධයන්ගේ වශයෙන් ධම්මානුපස්සනාව බෙදා වදාරා දැන් ආයතන වශයෙන් බෙදා දක්වනු පිණිස “පුනචපරං භික්ඛවෙ” යන ආදිය වදාළ සේක.

පාලි

“පුන ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති, ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු. ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුඤ්ච පජානාති, රූපෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.

සොතඤ්ච පජානාති, සද්දෙ ච පජානාති. යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති. යථා ච - පෙ - තඤ්ච පජානාති. ඝානඤ්ච පජානාති, ගන්ධෙ ච පජානාති, - පෙ - ජිව්හඤ්ච පජානාති, රසෙ ච පජානාති - පෙ - කායඤ්ච පජානාති, ඵොට්ඨබ්බෙ ච පජානාති, - පෙ - මනඤ්ච පජානාති, ධම්මෙ ච පජානාති, යථා ච - පෙ - අනුප්පාදො හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස

මහණෙනි! නැවත ද අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ. භාවනානු යෝගී පුද්ගල තෙම සයක් සයක් වූ අධ්‍යාත්මික - බාහිර ආයතන ධර්මයන් කෙරෙහි සත්ව පුද්ගල නො වන ස්වභාව ධර්ම අනුව බලමින් වාසය කර යි. මහණෙනි! යෝගී පුද්ගලයා වනාහි සයක් සයක් වූ අධ්‍යාත්මික - බාහිර ආයතන ධර්මයන් කෙරෙහි සත්ව පුද්ගල නො වන ස්වභාව ධර්‍ම අනුව බලමින් වාසය කරන්නේ කෙසේ ද යත්?

මහණෙනි! මේ බුදු සසුනෙහි භාවනා කරන යෝගී තෙම චක්ෂු ප්‍රසාදය වූ ඇස ද ඇති සැටියෙන් දැන ගන්නේය. වර්ණ ය යි කියන ලද රූපයන් ද ඇති සැටියෙන් දැන ගන්නේ ය. ඇස හා රූප නිසා දශවිධ සංයෝජනයන් අතුරෙන් යම් සංයෝජනයක් උපදී නම් එය ද දැන ගන්නේ ය.

යම් අයෝනිසෝමනසිකාරයක් නිසා නූපන් සංයෝජනයක් උපදී නම් එය ද දැන ගන්නේ ය. යම් යෝනිසෝමනසිකාරයක් නිසා උපන් සංයෝජනයක් තදඞ්ග - විෂ්කම්භන වශයෙන් පහව ය යි නම් එය ද දැන ගන්නේ ය.

තදඞ්ග - විෂ්කම්භන වශයෙන් ප්‍රහීන වූ යම් සංයෝජනයක් යම් ආර්ය මාර්ගයකින් සහමුලින් පහ ව යයි නම් ඒ ආර්ය මාර්ගයත් දැන ගන්නේ ය.

සෝත - සද්ද, ඝාණ - ගන්ධ, ජිව්හා - රස, කාය - ඵොට්ඨබ්බ, මන - ධම්ම යන ආධ්‍යාත්මික - බාහිර ආයතන ධර්මයන් සහ ඔවුන් උපදින - නිරුද්ධ වන කරුණු ද ඇති සැටියෙන් දැන ගන්නේ ය.

සංයෝජනයන් දැනගන්නා ආකාරය හා එහි විස්තරය.

සත්වයන්ට සසර දුකින් මිදෙන්ට ඉඩ නො දී ඔවුන් සංසාරයෙහි බැඳ තබන කාමරාගය ආදී බැමි දශයකට සංයෝජන ය යි කියනු ලැබේ. එහි:-

1. අභ්‍යන්තර - බාහිර කාමවස්තූන් ගැන ආසා කිරීම කාමරාග සංයෝජනය යි.

2. කාම - රූප - අරූප භවයන් ගැන ආසා කිරීම භවරාග සංයෝජන ය යි.

3. ද්වේෂය, ක්‍රෝධය, බද්ධ වෛරය, වනස් සිතුවිල්ලය, තරහය යන මෙය පටිඝ සංයෝජනය යි.

4. තමා ම උතුමෙකැ යි හෝ උසස් ය යි සිතා උඩඟු වීම මාන සංයෝජන ය යි.

5. ශරීරය තුළ නිතර පවත්නා ආත්ම සාරයක් හෝ මම ය යි කිව යුත්තෙක් ඇතැ යි දන්නා වැරදි හැඟීම දිට්ඨි සංයෝජන ය යි.

6. බුද්ධාදී ඒකාන්ත සත්‍ය කරුණු විනිශ්චය කරගත නො හැකිව සැක කිරීම විචිකිච්ඡා සංයෝජන ය යි.

7. ගව - බලු ආදීන් සේ හැසිරීමෙන් සසර දුකින් එතෙර විය හැකි ය යි. ගන්නා වැරදි මතය සීලබ්බතපරාමාස සංයෝජන ය යි.

8. අනුන් තමාට වඩා සුවපත්ව සිටිනු අසන්ට දකින්ට ලැබීම නුරුස්නා බව ඉස්සා සංයෝජන ය යි.

9. තමා සතු සම්පත් හෝ ගුණය අනුන්ට නොලැබේවා! යි සිතන මසුරුකම මච්ඡරිය සංයෝජන ය යි.

10. නාම රූපයන්ගේ ස්වභාව ලක්ෂණය නොදැනීම හෝ එය වරදවා සිතා ගැනීම අවිජ්ජා සංයෝජන ය යි. මේ අවිද්‍යාව කාම රාගය ආදී සංයෝජන නවය හා සමග ද නිතර එකට යෙදී පවතින්නී ය.

මේ සංයෝජන දහයෙන් බැඳී සිටින තැනැත්තා පරණ භවයෙන් චුත වූ වහා ම අලුත් භවයක පිළිසිඳ ගන්නේ ය. මෙසේ භවයෙන් භවය වෙන්විය නො දී සත්වයා භවයෙහි බැඳ තබන මේ කාමරාගය ආදී කෙලෙස් බැමි සංයෝජන නම් වේ.

එහි විස්තරය

රූප දන්නා කල්හි ඇසෙහි පවත්නා සියුම් ඔපය චක්ඛුප්පසාද නම් වේ. එය ම චක්ඛායතන - චක්ඛු ධාතු නමුදු වේ. දකිනු ලබන වර්ණය රූපය යි. එයට රූපායතන ය යි ද රූප ධාතු ය යි ද කියනු ලැබේ. මේ දැකීම සිදු කරන සිත් රැස මනායතනය යි. එයිනුත් දැකීම් මාත්‍රය සිදු කරන්නී චක්ඛු විඤ්ඤාණ ධාතුව යි. චක්ඛු විඤ්ඤාණයට පූර්ව භාගයෙහි මේ කුමක් දැ යි කල්පනා කරන්නාක් මෙන් උපදනා ආවජ්ජණ සිත සහ චක්ඛු විඤ්ඤාණයට අනතුරුව එම චක්ඛු විඤ්ඤාණයෙන් දක්නා ලද අරමුණ පිළිගන්නා ආකාරයෙන් උපදනා සම්පටිච්ඡන සිත ද යන මේ දෙ සිත මනෝ ධාතු නම් වේ. දන්නා ලද අරමුණ විමසන සන්තීරණ සිත ද දකිනු ලැබුවේ හොඳ හෝ නරක අරමුණක් ය යි නියම වශයෙන් විනිශ්චය කරන වොත්ථප්පන සිත ද අරමුණු රසය කරා වේගයෙන් දුවන්නා සේ පවත්නා ජවන් සිත ද ජවනය අනුව ගොස් ඒ අරමුණ සියුම් ලෙස ගන්නා තදාරම්මණ සිත ද යන මෙකී සිත් රැස මනෝවිඤඤාණ ධාතු නම් වේ.

අරමුණේ හැපෙන ඵස්සය ද අරමුණු රසය භුක්ති විඳින වේදනාව ද, අරමුණ හැඳින ගන්නා සංඥාව ද, මෙහෙයවන චේතනාව ද අරමුණෙහි සිත අලවන ලෝභය ද සිත දූෂ්‍ය කරවන ද්වේෂය ද, යහපත් අරමුණෙහි සිත පහදවන ශ්‍රද්ධාව ද යන මේ ආදී චෛතසික සමූහය ධම්මායතන නම් වේ. එය ම ධම්ම ධාතු නමුදු වේ.

අරමුණට නැඹුරු ව පවත්නා බැවින් චිත්ත චෛතසික සමූහය නාම නම් වේ. චක්ෂු ප්‍රසාදය සහ දකිනු ලබන රූපය ද ශීත - උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් විකාර වන බැවින් රූප නම් වේ.

දකින වාරයක් පාසා “දකිනවා, දකිනවා” ය යි මෙනෙහි කරන යෝගී තෙම ඒ අවස්ථාවෙහි ප්‍රකට ව පවත්නා මෙකී ආයතන සතරය, ධාතු සයය, නාම රූප දෙකය යන මොවුන් සුදුසු පරිද්දෙන් දැන ගන්නේ ය.

ශබ්ද ඇසෙන කල්හි කණෙහි ඇත්තේ සෝතප්පසාද රූප ය යි. එය සෝතායතන සෝත ධාතු යන නම් ඇති රූප ධර්මයකි. ඇසෙන ශබ්දය ද සද්දයතන සඥධාතු යන නම් ඇති රූප ධර්මයකි.

ඇසීම් ක්‍රියාව මනායතන - සෝත විඤ්ඤාණ ධාතු - මනෝ ධාතු - මනෝ විඤඤාණ ධාතු - ධම්මායතන - ධම්ම ධාතු යන නාම ධර්ම සමූහයකි.

ගඳ හෝ සුවඳ දැනෙන කල්හි නාසයෙහි පවතින්නේ ඝාණප්පසාද රූප යි. එය ඝාණායතන - ඝාණ ධාතු යන මේ නම් ඇති රූප ධර්මයකි. ගඳ හෝ සුවඳ ත් ගන්ධායතන - ගන්ධ ධාතු නම් වූ රූප ධර්මයකි.

ගඳ හෝ සුවඳ දැනීම මනායතන - ඝාණ විඤ්ඤාණ ධාතු-මනෝ-ධාතු මනෝ විඤ්ඤාණ ධාතු-ධම්මායතන - ධම්ම ධාතු යන නාම ධර්ම සමූහයකි.

රස දැනෙන කල්හි දිවෙහි පවතින්නේ ජීව්හාප්පසාද රූප ය යි. එය ජීව්හායතන - ජිව්හා ධාතු යන නම් ඇති රූප ධර්මයකි. රසය රසායතන - රස ධාතු නම් වූ රූපයකි.

රස දැනීම මනායතන - ජීව්හා විඤ්ඤාණ ධාතුමනෝධාතු - මනෝ විඤ්ඤාණ ධාතු-ධම්මායතන - ධම්ම ධාතු යන නාම ධර්‍ම සමූහයකි.

කයේ යමක් ගැටෙන කල්හි කයෙහි පවතින්නේ කායප්පසාද රූප ය යි. එය කායායතන - කාය ධාතු යන නම් ඇති රූප ධර්මයකි. පොට්ඨබ්බය ද පොට්ඨබ්බායතන - පොට්ඨබ්බ ධාතු නම් වූ රූප ධර්මයකි.

පොට්ඨබ්බය දැනීම මනායතන - කායවිඤ්ඤාණ ධාතු - මනෝධාතු - මනෝවිඤ්ඤාණ ධාතු - ධම්මා යතන - ධම්මධාතු යන නාමධමර්‍ සමූහයකි.

එහෙයින් ශබ්දයක් ඇසෙන කල්හි “ඇසෙන වා, ඇසෙන වා” ය යි යෝගී පුද්ගලයා විසින් මෙනෙහි කළ යුතු ය. එසේ ම දුර්ගන්ධයක් දැනෙන විට “ගඳයි, ගඳයි” කියා ද සුවඳක් දැනෙන විට “සුවඳයි, සුවඳයි” කියා ද දිවට මිහිරි රසයක් දැනෙන විට “රසයි, රසයි” කියා ද තිත්ත රසයක් දැනෙන විට “තිත්තයි, තිත්තයි” යන ආදී වශයෙන් ද ස්පර්ශයක් දැනෙන විට “හැපෙනවා, හැපෙනවා” ය යි ද තද ගතියක් දැනෙන විට “තද වෙනවා, තද වෙනවා” ය යි ද (මෙය පඨවි පොට්ඨබ්බ ය යි) උණුසුමක් හෝ දැවිල්ලක් දැනෙන විට “උණුසුමක්, උණුසුමක්” “දැවිල්ලක්, දැවිල්ලක්” ය යි ද (මෙය තේජෝ ඵොට්ඨබ්බ ය යි.) උදරයේ උස්වීම හෝ පහත් වීම දැනෙන විට “පිම්බෙනවා, පිම්බෙනවා” “හැකිලෙනවා, හැකිලෙනවා” ය යි ද (මෙය වායෝ පොට්ඨබ්බ ය යි.) මෙනෙහි කළ යුතු ය. මෙසේ මෙනෙහි කරන යෝගී පුද්ගලයා ඒ ඒ අවස්ථාවේ දී ප්‍රකට වන ආයතන සතරය, ධාතු සයය, නාම රූප දෙකය යන මෙකී ස්වභාව ධර්මයන් සුදුසු පරිද්දෙන් දැන ගන්නේ ය.

සිතින් අරමුණු සිතන කල්හි අරමුණු ගන්නා ස්වභාව ය වූ සිත් රැස මනායතන - මනෝ විඤ්ඤාණ ධාතු නම් වූ නාම ධර්ම සමූහයකි.

මෙය විදර්ශනාවේ අරමුණු දක්වන ස්ථානයක් වූ බැවින් මෙතන්හි ගත යුත්තේ ලෞකික ධම්මායතන ධම්ම ධාතු කොටස පමණ යි.

සිත අරමුණේ හැපෙන ඵස්ස ය, අරමුණු රස විඳින වෙදනාවය, අරමුණු අඳුනන සඤ්ඤාව ය, සිත ඇතුළු අනික් චෛතසිකයන් මෙහෙය වන චේතනාව ය. සිත එකඟ කරවන එ්කග්ගතාව ය. තමා හා එකට යෙදෙන අනික් ස්වභාව ධර්මයන් ජීවත් කරවන ජීවිතීන්ද්‍රිය ය, අරමුණු මෙනෙහි කරන මනසිකාර ය, සිත අරමුණට නංවන විතක්ක ය, සිත අරමුණෙහි ඔබා තබන විචාර ය, අරමුණු විනිශ්චය කරන අධිමොක්ඛ , සුර භවය සිදු කරන වීරිය ය, පිනවන ප්‍රීති ය, කටයුත්ත කිරීමෙහි කැමති ඡන්ද ය, අනුවණ ගතිය වූ මොහ ය, දුසිරිතෙහි පිළිකුල් නො කරන අහිරික ය, දුසිරිතෙහි භය නො වන අනොතප්ප ය, සිත තැන්පත් නො කරන උද්ධච්චය, අරමුණෙහි ඇලුම් කරන ලොභය, වැරදි මතය වූ දිට්ඨිය, උඩඟු ගතිය වූ මාන ය, සිතෙහි සැඩ පරුස ගතිය වූ දෝස ය, අනුන් ගේ සම්පත් නො රුස්සන ඉරිසියාව ය, තමා ගේ සම්පත් සඟවන මසුරු ගතිය වූ මච්ඡරිය ය, කළ නො කළ දුසිරිත් සුසිරිත් වෙනුවෙන් පසු තැවෙන කුක්කුච්ච ය, සිත කුසලයෙහි මැලි කරවන ථීන ය, චෛතසිකයන් කුසලයෙහි මැලි කරවන මිද්ධ ය, හොඳ අරමුණෙහි සැක කරවන විචිකිච්ඡාව ය, යහපත් අරමුණෙහි සිත පහදවන සද්ධාව ය, යහපත් අරමුණු සිහිපත් කර වන සති ය, දුසිරිතෙහි පිළිකුල් කරවන හිරිය, දුසිරිතෙහි තැති ගන්වන ඔතප්පය ය, අරමුණෙහි ආසා නො කරන අලෝභය, සිත සෞම්‍ය කරවන

මෛත්‍රිය වූ අදෝස ය, තමා හා එකට යෙදෙන ස්වභාව ධර්මයන් මධ්‍යස්ථ කරවන තත්‍රමජ්ඣත්තතාව ය, චෛතසිකයන්ගේ දැවිල්ල සංසිඳුවන කායපස්සද්ධි ය, සිතේ දැවිල්ල සංසිඳුවන චිත්තපසද්ධි ය, චෛතසිකයන් සැහැල්ලු කරවන කායලහුතාව ය, සිත සැහැල්ලු කරවන චිත්තලහුතාව ය, චෛතසිකයන් මෘදු කරවන කාය මුදුතාව ය, සිත මෘදු කරවන චිත්ත මුදුතාව ය, චෛතසිකයන් යහපත් කර්මයට යොග්‍ය කරවන කායකම්මඤ්ඤතාව ය, සිත යහපත් කර්මයට සුදුසු කරවන චිත්තකම්මඤ්ඤතාව ය, චෛතසිකයන් ප්‍රගුණ කරවන කායපාගුඤ්ඤතාව ය, සිත ප්‍රගුණ කරවන චිත්තපාගුඤ්ඤතාවය, වාක් දුශ්චරිත සතරින් වළක්වන සම්මා වාචාව ය, කායදුශ්චරිත තුනෙන් වළක්වන සම්මා කම්මන්ත ය, මිථ්‍යා ආජීවයෙන් වළක්වන සම්මා ආජීව ය, දුකට පැමිණි අනන්ත සත්ත්වයන් ගැන ළය කකියවන කරුණාව ය, සුවපත් නොයෙක් සත්වයන් ගැන සතුටු වන මුදිතාව ය, මෝහාන්ධකාරය දුරු කරමින් සිතේ හටගන්නා අලෝකයක් වැනි වූ ප්‍රඥාව ය යන මේ චෛතසික සමූහය ධම්මායතන - ධම්ම ධාතු නම් වූ නාම ධර්ම රැසකි.

සිත ඇසුරු කරන - සිතේ වාසස්ථානය වන හදය රූප ය, ගෑණු බව වූ ස්ත්‍රී භාවරූප ය, පිරිමි බව වූ පුරිස භාවරූප ය යන මේ ආදී සුබූම රූප සහ ප්‍රසාද රූප ද ධම්මායතන - ධම්ම ධාතු නම් වූ රූපධර්ම රැසකි.

එහෙයින් සිතන කල්හි “සිතනවා, කල්පනා කරනවා, දැනෙනවා, සිතින් දකිනවා, සලකා බලනවා, මෙනෙහි කරනවා, මතක් වෙනවා, සිහි වෙනවා,

යන මේ ආදී වශයෙන් මෙනෙහි කරන යෝගී පුද්ගල තම එකෙණෙහි සිතට ප්‍රකට වන මෙකී ආයතන දෙකය, ධාතු දෙකය, නාම රූප දෙකය යන මොවුන් සුදුසු පරිදි දැන ගන්නේ ය. මෙසේ සිතා දැන ගැනීමේ දී පවත්නා අරමුණ වනාහි පරමාර්ථ ද විය හැකි ය. ප්‍රඥප්තිය ද විය හැකි ය. පරමාර්ථ වුවහොත් ඒ අරමුණ ආයතන වශයෙනුත් ධාතු වශයෙනුත් නාම රූප වශයෙනුත් දත හැකි වෙයි.

දැකීම්-ඇසීම් ආදිය සිදු කරන කල්හි චක්ඛුප්පසාදය, රූප අරමුණය, දැකීමය, යන මොවුන් සහ සොතප්පසාදය, ශබ්ද අරමුණය, ඇසීමය, යන මේ ආදී ආයතනයන් “දකිනවා, ඇසෙනවා” යන ආදී වශයෙන් මෙනෙහි නො කළහොත් මෙකී ආයතනයන් ඇති සැටියෙන් නො දත හැකි ය. එහෙයින් ඒ පුද්ගලයා හට මේ සංයොජන දශය ඇති වන්නේ ය.

ඒ මෙසේයි:- දැකීමේ දී චක්ඛුප්පසාදය සහ රූප අරමුණ ද දන්නා සිත ද යන ආයතනයන් පහළ වන විට “දකිනවා, දකිනවා” ය යි මෙනෙහි නො කළ හොත් ඔහුට නොමඟින් මෙනෙහි වන අයෝනිසෝමනසිකාරය නිසා කාමරාගය ඇති විය හැකි ය. එවිට “කාමරාගය, කාමරාග ය” යි මෙනෙහි කොට එය දත හැකි ය. කාමරාගයට හේතු වන අයෝනිසෝමනසිකාරයත් දත හැකි ය. කාමරාගය පහව ගිය විට ඒ පහව යාමට හේතුවන යෝනිසෝමසිකාරය ත් දත හැකි ය.

භාවනා මනස්කාරය මෙනෙහි කිරීම දියුණු වූ කල්හි කාමරාගාදිය ඉපදවීමට හේතු වූ නො මඟින් මෙනෙහි අයෝනිසෝමනසිකාරයත් සමග කාමරාගය ආදී සංයෝජන කෙලෙස් නිරුද්ධවීම ද සිදු ව න්නේ ය.

“යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති. යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති” යනු වදාළේ ඒ සඳහා ය.

“යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති” යනුවෙන් සංයෝජන කෙලෙස් නැවත නූපදින සේ සහමුලින් පහකරන සොවාන් ආදී ආර්ය මාර්ගය ස්වකීය ඥානයෙන් දැන ගැනීම වනාහි ප්‍රත්‍යවේක්‍ෂාඥානය ලබා ගත් කල්හි ම සිදු වන්නේ ය.

තවද සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, ඉස්සා, මච්ඡරිය යන සංයෝජන පහ සෝවාන් මගින් සහමුලින් පහව යන්නේ ය. ඖදාරික කාමරාගය හා පටිඝය ද යන සංයෝජන දෙක සකදාගාමි මගින් තුනී වීම් වශයෙන් පහව යන්නේ ය. සියුම් කාමරාගය හා පටිඝය ද යන සංයෝජන දෙක අනාගාමි මාර්ගයෙන් සහමුලින් පහ ව ය න්නේ ය. මාන, භව රාග, අවිජා යන සංයෝජන තුණ රහත් මගින් සහමුලින් පහව යන්නේය යන මේ දැනගැනීම සිදුවන්නේ ශ්‍රැතමය ඥානයෙන් ය.

මච්ඡරිය සංයෝජනය

මෙහිදී මච්ඡරිය ය සෝවාන් මගින් පහ කළ යුතුය යි කියන ලදී. සෝවාන් පුද්ගලයා තමා සතු වස්තු සම්පත් ඉල්ලන වාරයක් පාසා අනුන්ට දෙන්නේ ය යි ද ධනය රැස් නො කරන්නේ ය යි ද නො සිතිය යුතු යි. ධන ධාන්‍ය වර්ග තැන්පත් කර ගැනීම,

තමාගේ අයිතිය රැක ගැනීම, එහි ආසා කිරීම ලෝභය මිස මසුරුකම නො වේ. තමාගේ සම්පත් අනුන්ට අයත් වීම හෝ අනුන් පරිහරණය කිරීම නො රුස්සනා ගතිය වූ මසුරුකම ම මච්ඡරිය ය යි කියනු ලැබේ. එහෙයින් දෙන්ට නො කැමත්ත මසුරු බවට පමණක් නොව ලෝභයට ත් සම්බන්ධ වූවකි. සෝතාපන්නයාහට මසුරුකම නැතත් ලෝභය තිබේ. මේ කරුණෙහි ලා බුද්ධ කාලයෙහි ජීවත් වූ සෝවාන්, සකදාගාමි, අනාගාමි බවට පැමිණි රජවරු සහ බිසෝවරු සිටුවරු සහ සිටු දේවීවරු යන මොවුන් ගැන ද සිතා බැලිය යුතු ය. එකල සොර සතුරෝ ද සිටියාහු ය. බුදුසසුනට විරුද්ධකම් කළ තීර්ථකයන් සහ තීර්ථක ශ්‍රාවකයෝ ද සිටියාහු ය. අනුන්ගේ වස්තුව උදුරා ගන්නාක් මෙන් ඉල්ලන අයද සිටියාහු ය. ඔවුන් ඉල්ලන වාරයක් පාසා දුන්නා නම් ඒ ආර්ය පුද්ගලයන්ට හිඟන ජීවිත ගතකරන්ට සිදුවනු නො අනුමාන ය. ඒ හැර අනේපිඬු සිටුහුගේ මාලිගාවට සොරුන් ඇතුල් වූ කතා පුවත ද සිහි කළ යුත්තකි. ඉල්ලූ තරම් ම වස්තුව ඉල්ලන අයට ලැබුනා නම් සොරකම් කරන්න වුවමනා නැත. ඒ නිසා තමාගේ වස්තුව අනුන්ට අයිති වීම හා එය අනුන් පරිහරණය කරනු නොරිසි බව ය යි කියන ලද මසුරුකම මච්ඡරිය ය යි සැලකිය යුතුය. එවැනි මසුරුකමක් නොමැති වුවත් තමාට ඕනෑ කරන තමාගේ වස්තුව අනුන්ට දෙනු නො කැමැති වීම ලෝභය යි. නො දෙනු කැමති වස්තුව ඉල්ලන්නාහට දෙන්ට නො හැකි වීම වූ කලි ලෝභ-මච්ඡරිය දෙකටම සම්බන්ධ ය යි නොසිතිය යුතු ය.

එහෙයින් අඳනය ඉල්ලූ උදායි තෙරුන්ට උප්පලවණ්ණා තෙරණියන් විසින් “මයං ඛො භන්තෙ මාතුගාමා නාම කිච්ඡලාභා, ඉදඤ්ච මෙ අන්තිමං පඤ්චමං චීවරං. නාහං දස්සාමී”.

“ස්වාමීනි! මාගමුන් (කාන්තාවන්) වූ අපි වනාහි ලැබීම අඩු නිසා දුප්පත් වෙමු. මාහට ඇත්තේ පස්වැනි සිවුර වු මෙ අඳනය පමණයි. ඒ නිසා මේ අඳනය නො දෙන්නෙමැ” යි කීවා ය. මේ උප්පලවණා තෙරණියෝ වනාහි ලොභ - මච්ඡරිය ආදී සියලු කෙලෙස් පහකළ රහත් තෙරණි කෙනෙකි. එසේ වුව ද අඳනය නො දිය හැකි නිසා නො දෙන්නෙමැ යි කීවා මිස ලෝහය හෝ මසුරුකම නිසා ය යි නො සැලකිය යුතු ය.

උප්පලවණ්ණා වස්තුව වනාහි රසවත් කථා පුවතකි. උප්පලවණ්ණාව පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සිට පෙරුම් දම් පුරාගෙන අවුත් මේ බුදු සසුනෙහි පැවිදිව රහත්ව සෘද්ධිමත් තෙරණිවරුන් අතුරෙහි අගතැන් පැමිණි - ඒතදග්ග ඨානාන්තරය ලැබ ගත් - ඉතා ප්‍රියංකර රූප සම්පත්තියෙන් යුක්ත වූ භික්ෂුණියකි. මෙහි දක්වනු ලබන්නේ ඇය පිළිබඳව පාරාජිකා පාලියෙහි චීවර වග්ගයෙහි එන කථා පුවත පමණි.

උප්පලවණා භික්ෂුණිය එක් දවසෙක්හි සැවැත් නුවර දී පිඬු සිඟා වළඳා දිවා විහරණය පිණිස එනුවර සමීපයෙහි වූ අඹවනයට එළඹ එක්තරා සිහිල් සෙවන ඇති ගසක් මුල වාඩි වී සමවත් සුව විඳිමින් සිටියා ය. එකල්හි අනුගේ වස්තුව පැහැර ගනිමින් ජීවත් වන සොරුන් කණ්ඩායමක් ගවයෙකු මරා ඒ මස් තම්බා කනු පිණිස අන්ධවනයට ඇතුල් ව මස් තැම්බීමට සුදුසු තැනක් සොයා යන අතර ඉදිරියෙන් යන සොර දෙටුවා හට ඒ භික්ෂුණිය සමවත් සුව විඳිමින් සිටිනු දකින්ට ලැබී, ඇගේ තත්වය දැන සිටි ඒ සොර දෙටුවා මේ මාර්ගයෙන් ගියහොත් අනිත් සොරුන් භික්ෂුණියට කරදරයක් කරනවා ඇතැයි සිතා ඔවුන්ට භික්ෂුණිය නො පෙනෙන සේ වෙන පැත්තකින් ගොස් මස් තම්බා ඒ මස්වල හොඳ කොටස වෙන්කොට එය කොල ගොටුවක ඔතා භික්ෂුණියට පෙනෙන තෙක් මානයේ ඒ මස් පොදිය ගසක එල්ලා “යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් මේ මස් ආදිය දකී නම් මෙය පරිත්‍යාග කරන ලද්දේ ඔහුටය” යි කියා යන්ට ගියේය.

ඒ මොහොතේ දී ම උප්පලවණ්ණා භික්ෂුණිය සමාපත්තියෙන් නැගී සිටි නිසා සොර දෙටුවාගේ මේ කියමන අසන්ට ලැබී ඒ භික්ෂුණිය මස් පොදිය භික්ෂුණී ආරාමයට ගෙන ගියා ය. ඉක්බිත්තෙන් ඇය පසුදින උදෑසන ඒ මස් කුලු බඩු ආදිය යොදා වැළඳීමට සුදුසු පරිදි රසවත් කොට සම්පාදනය කර ඇගේ තනිපට සිවුරෙන් පොදියක් බැඳගෙන සෘද්ධියෙන් අහසට නැගී වේළුවනාරාමයට ගියා ය. එය භාග්‍යවත් බුදුරජාණන් වහසේ ගමට පිඬු සිඟා වැඩිය වේලාව ය. එවිට විහාරය බලාගනිමින් සිටි උදායී නමැති භික්ෂුව වෙත පැමිණ “භාග්‍යවතුන් වහන්සේ කොයිදැ” යි ඇසුවා ය. එවිට ගමට පිඩු පිණිස වැඩිය බව කීවේ ය.

“ස්වාමීනි! එසේ වී නම් මේ මස් ටික භාග්‍යවතුන් වහන්සේට පිළිවන්වන්නට” ය යි ඈ කීවාය. එවිට “නැගණියනි! ඔබ භාග්‍යවතූන් වහන්සේ නම් මාංසයක් පුජා කෙළෙහි ය. මට ද යමක් නුදුන් බැවින් ඔය ඇඳ සිටින අඳනය මට දෙව” යි කීවේ ය. එවිට ඇය කීවේ “ස්වාමීනි! ස්ත්‍රී වර්ගයාට අයත් භික්ෂුණීන් වන අපට ලැබීම ඉතා අඩු ය. මාහට ඇත්තේ සිවුරු පසක් පමණි.

එනම්, සංකච්චිකාවය, උදක සාටිකාවය තුන් සිවුරය යන මෙය යි. (එහි සංකච්චිකා යනු භික්ෂුණියගේ ශරීරයෙහි අකු ඇටයෙන් යට ද නාභියෙන් උඩ ද වැසෙන සේ අඳින චීවර විශේෂයකි. එය අඳින්ට නියමකර වදාළේ භික්ෂුණින්ගේ පයෝධර යුගලය සහ උදරයත් නිතර වසා තබා ගැනීමට ය. එය නාඳින භික්ෂුණියට පචිති ඇවැතක් සිදුවෙයි. උදක සාටිකා යනු ජලස්නානය කරන විට අඳින නානකඩ ය යි. තුන් සිවුර යනු දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුරය යන මේ සිවුරු තුණය.)

“වැඩි අඳනයක් නැත. ඒ නිසා මේ අඳනය දෙන්ට නො හැකි ය” යි කීවා ය.

ඊට පසු ද උදායි භික්ෂුව නැවත නැවතත් කරදර කළ නිසා අඳනය දී ආපසු ආරාමයට ගොස් සෙසු භික්ෂුණීන් විසින් අඳනයට කුමක් වී දැයි අසන විට ඒ බව ප්‍රකාශ කළා ය. ඒ බව බුදුරජාණන් වහන්සේ දැනගන්ට ලැබී, නොනෑ භික්ෂුණියකගේ අතින් සිවුරක් පිළිගන්නා භික්ෂුවට නිසඟි පචීතියක් පනවා වදාළසේක.

මෙහි දී උදාසී භික්ෂුව පෘථග්ජන වූ බැවින් ඔහුට වුවමනා කළේ අඳනය පමණක් නොව අඳනය ඉවත් කරන විට උප්පලවණා භික්ෂුණියගේ ඉතා ලස්සන ශරීරයෙන් සුළු කොටසක් වත් දැක ගැනීමට ය. ඒ බව දැනගත් ඕ තොමෝ කයේ ස්වල්පයක්වත් නො පෙනෙන සේ උඩ කොටසෙහි ඇඳගෙන තිබුන සංකච්චිකාව පහත් කර යට කොටස වසමින් ම අඳනය ඉවත්කර දී ආපසු සෘද්ධියෙන් අහසට නැගි ගියා ය.

උප්පලවණ්ණා ස්ථවිරීන් වහන්සේ පිළිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න වුන් විසින් අඞ්ගුත්තර අටුවාව, ථෙරී ගාථා අටුවාව, දම්පියා අටුවාව යන ආදි පොත් බලා දත යුතුයි.

ආයතන පබ්බය නිමි.

ධම්මානුපස්සනාවේ (4) බොජ්ඣඞ්ග පබ්බය

මෙසේ සවැදෑරුම් අජ්ඣත්තික ආයතනය - සවැදෑරුම් බාහිර ආයතනය යන දොළොස් ආයතනයන්ගේ වශයෙන් ධම්මානුපස්සනාව බෙදා වදාරා දැන් බොජ්ඣඞ්ගයන් ගේ වශයෙන් බෙදා දක්වනු පිණිස “පුන ච පරං” යන ආදිය වදාළ සේක.

සති සම්බොජ්ඣංගය

පාලි

“පුන ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු.

ඉධ භික්ඛවෙ භික්ඛු සන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති.

යථා ච අනුප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස

නැවත ද අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ. සසර භය දැක විදර්ශනා වඩන යෝගී පුද්ගල තෙම සත් වැදෑරුම් බෝධ්‍යාඞ්ග (චතුස්සත්‍යවබෝධයට උපකාර වන) ධර්මයන් කෙරෙහි සත්ව පුද්ගල නො වන ස්වභාව ධර්මය අනුව බලමින් වාසය කරයි. මහණෙනි! යෝගී පුද්ගල තෙම සත් වැදෑරුම් බොජ්ඣඞ්ග ධර්මයන් කෙරෙහි සත්ව පුද්ගල නොවන ස්වභාව ධර්මය අනුව බලමින් කෙසේ වාසය කරයි ද?

මහණෙනි! මේ බුදු සසුනෙහි යෝගී තෙම තමා තුළ සතිසම්බොජ්ඣඞ්ගය ඇති ව පවත්නා කල්හි දැන් මා තුළ සතිසම්බොජ්ඣංගය ඇතිව පවතී ය යි දැන ගන්නේය. තමා තුළ සතිසම්බොජ්ඣංගය නැත හොත් දැන් මා තුළ සතිසම්බොජ්ඣංගය නැතැ යි දැන ගන්නේ ය.

යම් යොනිසොමනසිකාරයක් නිසා නූපන් සතිසම්බොජ්ඣ්ඞ්ගය උපදී නම් ඒ යොනිසොමනසිකාරයත් දැන ගන්නේ ය. එසේම උපන්නා වූ සතිසම්බොජ්ඣඞ්ගය භාවනාවෙන් සම්පුර්ණ වීම යම් මාර්ගයකින් සිදුවෙයි නම් ඒ අර්හත් මාර්ගය ත් දැන ගන්නේ ය.

එහි විස්තරය

(සම්බෝධි+අඞ්ග = සම්බොජ්ඣඞ්ග) මෙහි සම්බෝධි යනු චතුස්සත්‍යය හොඳින් අවබෝධ කරන පුද්ගලයා හෝ අවබෝධයට ඉවහල් වන ධර්ම සමූහ ය යි. ඒ ධර්ම සමූහයේ එක් එක් අවයවයක් අඞ්ග නම් වේ. උදයබ්බයඤාණයෙහි පටන් විදර්ශනා අවස්ථාවෙහි සහ මාර්ග අවස්ථාවෙහි ද චතුස්සත්‍යය මැනවින් අවබෝධකර ගැනීමට ඉවහල් වන ගුණ අඞ්ග එකක් එකක් පාසා සබොජ්ඣඞ්ග නම් වේ. සති නැමැති සිහිය ම සත්‍යාවබෝධයට උපකාර වන බැවින් ද සත්‍යාවබෝධයට උපකාර වන ධර්ම සමුදායයෙහි අන්ගයක් වන බැවින් ද සතිසම්බොජ්ඣංග යයි කියනු ලැබේ.

සිහිය උපදවා ගන්නෙමැ යි මෙනෙහි කිරීම හා පළමු මෙනෙහි කිරීමේ දී හටගත් සිහිය ද යොනිසො මනසිකාර ය යි. එකී දෙවැදෑරුම් යෝනිසෝමනසිකාරය නිසා යෝගී පුද්ගලයාහට සතිසම්බොජ්ඣංගය, පහළ වන්නේ ය. එහෙයින් යෝගී පුද්ගලයා ඒ දෙයාකාර වූ යෝනිසෝමනසිකාරය ද දැන ගන්නේ ය.

සිය සතන්හි උපන් සතිසම්බොජ්ඣංගය භාවනාවෙන් වැඩි දියුණු වීම රහත් මගට පැමිණීමෙන් සම්පුර්ණ වන්නේ ය. ඊට පසු සතිය පිළිබඳ වැඩි දියුණු කිරීමේ වුවමනාවක් නැත. එහෙයින් රහතන් වහන්සේ සති සම්බොජ්ඣංගය සම්පූර්ණ කර ගැනීමට ඉවහල්වූ රහත් මාර්ගය ද ප්‍රත්‍යක්ෂ කොට දැන ගන්නේය යනු අදහස යි.

උදයබ්බයඥාණයෙහි පටන් සතිය (=භාවනා අරමුණු සිහි කිරීම) පිරිසිදු වූ කල්හි සිහි කිරීමක් පාසා සිහි කරන ලද අරමුණෙහි ඇලී පවතින්නාක් මෙන් වැටහෙන සිහිය තියුණු වීමෙන් ප්‍රකට වන්නී ය. එකල්හි ඇති වෙමින් නැති වෙමින් පවත්නා නාම-රූප අරමුණු මෙනෙහි කරන සිතෙහි ඉබේට ම වැටහී එන්නාක් මෙන් වෙති. එක් අරමුණක් මෙනෙහි කොට අවසාන වීමත් සමග ම වෙන අරමුණක් සුදුසු පරිදි වැටහෙන්නේ ය. මෙනෙහි කරන සිත ද අරමුණ තුළට කා වැදී පවතින්නාක් මෙන් වන්නේ ය. එහෙයින් “අපිලාපන ලක්ඛණා සති” යි අටුවායෙහි කීහ. සතිය හා එකට යෙදෙන අනික් ස්වභාව ධර්මයන් ද අරමුණ කෙරෙන් වෙන් නොවී - සිහි කරනු ලබන අරමුණත් සිහියෙන් වෙන් නොවී පැවැත් ම ය යනු එහි අදහස යි. මෙසේ තියුණු වෙමින් ප්‍රකට වන සති (සිහි) ය මාර්ග ඥානය උපදවන බැවින් සතිසම්බොජ්ඣඞ්ග නම් වේ.

තව ද සතිසම්බොජ්ඣඞ්ග ය උපදවා ගැනීමට උපකාරවන ධර්ම සතරක් ඇත. එනම්,

1. සති සම්පජඤ්ඤය,

2. මුට්ඨස්සති පුද්ගල පරිවර්ජනතා,

3. උපට්ඨිත සති පුද්ගල සේනතා,

4. තදධිමුත්තතා යන මේ සතර ය.

එහි සතිසම්පජඤ්ඤය නම්, ඉදිරියට යෑම හා ආපසු ඊම ය, ඉදිරි පස බැලීම හා අනු දිසාවන් බැලීම ය, අත් පා හැකිලීම හා දිග හැරීම ය යන මේ ආදී හැම ක්‍රියාවක දීම එයින් අර්ථ සිද්ධියක් ද සිදු වන්නේ දැ යි දැනගෙන කරමින් සිහි නුවණින් යුක්තවීම ය.

මුට්ඨස්සති පුද්ගල පරිවර්ජනතා යනු සිහි මුළා වූ (සිහිය නැති) පුද්ගලයන් ඇසුරු නො කොට ඔවුන් දුරු කිරීම ය. සිහිමුළා වූ පුද්ගලයා බත් සඟවන කපුටුවා මෙනි. කපුටුවාට බත් ගොඩක් හමු වූ විට එයින් බත් කටක් පුරවා එය තැනක සඟවා තබ යි. මෙසේ වරින් වර ඒ බත්ගොඩ ඉවර වන තෙක් තැනින් තැන සඟවා තබන නමුත් නැවත ඒ බත් කෑමට අමතක වීමෙන් ඒ ඒ තැන ම කුණු වී ය යි. එවැන්නවුන් ඇසුරු කිරීමෙන් තමනු ත් සිහිය නැති පිස්සෙකු මෙන් විය හැකි බැවින් සිහිමුළා වූ පුද්ගලයා දුරු කළ යුතුම ය.

උපට්ඨිතසති පුග්ගල සේවනතා යනු තිස්සදත්ත ස්වාමීන් වහන්සේය, අභය ස්වාමීන් වහන්සේ ය යන මේ ආදී ස්වාමීන්වහන්සේලා මෙන් සතිපට්ඨානය භාවනාවේ යෙදෙමින් නිතර යහපත් සිහියෙන් යුක්ත වූ කල්‍යාණමිත්‍රයන් ඇසුරු කිරීම ය. එවැනි කළණ මිතුරන් ඇසුරු කිරීම ද සතිසම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාර වෙ යි.

තදධිමුත්තතා යනු ඉඳීම් සිටීම් ආදී හැම ඉරියවුවක දී ම සිහිය උපදවා ගන්ට ඕනෑ ය යි සිතමින් සිත එයට නැඹුරු කර තබා ගැනීම ය.

ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය

පාලි

සන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො’ති පජානාති.

යථා ච අනුප්පන්නස්ස ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්සෙ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.

කෙටි අදහස

යෝගී තෙම තමා තුළ ධම්මවිචය සම්බොජ්ඣඩ්ගය ඇතිව පවත්නා කල්හි දැන් මා තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය ඇතිව පවත්නේ ය යි දැන ගන්නේ ය. තමා තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතහොත් දැන් මා තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතැයි දැන ගන්නේ ය.

යම් යෝනිසෝ මනසිකාරයක් නිසා නූපන් ධම්මවිචය සම්බොජ්ඣංගය උපදී නම් එයත් දැන ගන්නේ ය. එසේ ම උපන් ධම්මවිචය සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම යම් මාර්ගයකින් සිදුවෙ යි. නම් ඒ අර්හත් මාර්ගයත් දැන ගන්නේ ය.

ධම්මවිචය නම්, නාම රූප ධර්මයන් ගේ ඇති තතු සොයා පරීක්ෂ කොට දැන ගන්නා ඤාණ ය යි. ඒ මෙසේයි: නාම-රූප ධර්මයන් විදර්ශනා වශයෙන් මෙනෙහි කරන යෝගාවචරයා මෙනෙහි කිරීමක් - මෙනෙහි කිරීමක් පාසා - එක් එක් නාම - රූප අරමුණෙක්හි විශේෂයෙන් ප්‍රකට ව පවත්නා ස්වභාව ලක්ෂණය ද දැන ගන්නේ ය. ඒ ඒ නාමය හෝ රූපය. පහළ වීම ය යි කියන ලද ඉපදීම ද පිරිසිඳ දැන ගන්නේ ය. උපන් වහාම නිරුද්ධවීම ය යි කියන ලද නැතිවීම ද පිරිසිඳ දැනගන්නේ ය. එසේ ම නිතර නො පවතින්නා ආකාර ය යි කියන ලද අනිත්‍ය ලක්ෂණය ද, නො හොඳ නරක, දුක් හිරිහැර පීඩා උපදවන ආකාරය වූ දුක්ඛ ලක්ෂණය ද, මම යයි කියා ගත යුතු ආත්ම සාරයක් නො මැති ආකාර ය යි කියන ලද අනාත්ම ලක්ෂණය ද යන මේ ත්‍රි ලක්ෂණයන් ප්‍රකට කොට දැන ගන්නේ ය. මේ දැන ගැනීම චතුස්සත්‍යවබෝධයට ඉවහල් වන බැවින් ධම්මවිචය සම්බොජ්ඣංග ය යි කියනු ලැබේ.

ධම්මවිචය සම්බොජ්ඣංගය ඉපිද වීමට යෝනිසෝමනසිකාරය පමණක් නො ව වෙනත් කරුණු සතක් උපකාර වෙයි. එනම්,

1. පරිපුච්ඡකතා,

2. වත්ථුවිසදකිරියතා,

3. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා

4. දුප්පඤ්ඤ පුග්ගල පරිවජ්ජනා

5. පඤ්ඤවන්ත පුද්ගල සෙවනා,

6. ගම්භීර ඥාණ චරිය පච්චවෙක්ඛණා,

7. තදධිමුත්තතා යනු යි.

එහි පරිපුච්ඡකථා යනු ස්කන්ධ, ධාතු ආයතන, ඉන්ද්‍රිය, බල, බෝධ්‍යඞ්ග, මාර්ගාඞ්ග, ධ්‍යනාඞ්ග, සමථ, විදර්ශනා යන මේ ධර්මයන් පිළිබඳ ගැටළු තන්හි අර්ථ අදහස් දැන ගැනීම පිණිස ප්‍රශ්න කිරීම ය.

වත්ථුවිසදකිරියතා යනු ආධ්‍යාත්මික, බාහිර වස්තූන් පිරිසිදුකර ගැනීම ය. යෝගී පුද්ගලයා ගේ කෙස්, නිය, ලොම් දික් ව තිබේ නම්, ශරීරය හෝ වා, සෙම් ආදී දොස් කෝපව පවතී නම්, දහඩිය, කුණු ආදියෙන් අපිරිසිදු වී තිබේ නම් එය ආධ්‍යාත්මික වස්තු අපිරිසිදු වීම ය. ඇඳ සිටින සිවුරු හෝ වත්‍ර කිලිටිව දුගඳ හමයි නම්, සෙනසුන හෝ කුණුකසලින් අපිරිසිදුව තිබේ නම් බාහිර වස්තු අපිරිසිදු වීම ය. එවිට කෙස් නිය සිඳීම ය, විරේචන බේත් ගැනීම ය, ස්නානය කිරීම ය යන මේ ආදියෙන් අධ්‍යාත්මිකත් වස්තූන් පිරිසිදු කර ගත යුතුය. සිවුරු හෝ ඇඳුම් සේදීම් ආදී වශයෙන් බාහිර වස්තූන් පිරිසිදු කර ගත යුතු ය. අධ්‍යාත්මික, බාහිර වස්තූන් පිරිසිදු වූ කල්හි යෝගී පුද්ගලයාගේ ඤාණය ද පිරිසිදු වෙයි. එවිට ධම්මවිචය සම්බොජ්ඣංගය පහසුවෙන් උපදවා ගත හැකි වෙයි.

ඉන්ද්‍රිය සමස්ත පටිපාදනතා යනු සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්ම පස සම සමව පවත්වා ගැනීම ය. අශ්‍රද්ධාව ය, කුසීත බවය, සිහි මුළාව ය, උද්ධච්ච ය, අවිද්‍යාව ය යන මොවුන් මැඩ පවත්වා භාවනා සිතෙහි ප්‍රධානත්වය උසුලන සද්ධින්ද්‍රිය ය ආදිය සම සමව පවත්වා ගත යුතු ය. ඉදින් සද්ධින්ද්‍රිය බලවත් ව ඉතිරි ඉන්ද්‍රියයන් දුර්වල වුවහොත් භාවනා සිතට අනුබල දීම ය, භාවනා අරමුණ සිහිපත් කරවී ය, සිත තැන්පත් කරවීම ය, අරමුණේ ස්වභාව ලක්ෂණය හා සාමාන්‍ය ලක්ෂණය දැන ගැනීම ය. යන මේ කටයුතු දැය අනික් ඉන්ද්‍රියයන් ගෙන් සිදු නො වන්නේ ය. එහෙයින් වක්කලි තෙරුන් මෙන් අධික ශ්‍රද්ධාව මැඩ පවත්වා, අනික් සමාධි ප්‍රඥා ආදී ධර්මයන් හා සම තත්ත්වයෙහි පවත්වා ගත යුතු ය. වක්කලි තෙරුන්ගේ සිතෙහි ශ්‍රද්ධාව අධික ව විදර්ශනා අරමුණෙහි සිත යොදවා ගත නො හැකිව සිටින කල්හි ඒ බව දුටු භාග්‍යවතුන් වහන්සේ ඒ තෙරුන්ට ඉන්ද්‍රිය ධර්මයන් සම සම ව පවත්නා අයුරින් කමටහන් අරමුණ පැහැදිළි කර දුන් සේක. ඉක්බිති ශාස්තෘන් වහන්සේ දුන් නය ක්‍රමයෙහි එල්බ ගෙන විදර්ශනා වඩා මාර්ග පිළිවෙළින් රහත් බව ලබා ගත්තේ ය.

ඉදින් විරියින්ද්‍රිය ය බලවත් වුවහොත් එවිට සද්ධින්දිය ආදියට අයත් කටයුතු සිදු නො කළ හැකි ය. එහෙයින් ඒ වීර්යය, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා භාවනා වැඩීමෙන් පිරිහෙවිය යුතු ය. සෝණ ස්ථවිරයන් වහන්සේ මෙනි. සෝණ හිමි ඉතා සිවුමැලි වූයෙකි. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙන් කමටහන් ලබා ගෙන සීතවනයෙහි වෙසෙමින් මාගේ ශරීරය ඉතා සිවුමැලි වෙයි. සැප විඳිමින් සැප ලබා ගත නො හැකි ය. කයට දුක් දී භාවනා කළ යුතු ය යි සිතා, සිටිමින් හා සක්මන් කරමින් භාවනායෙහි වෑයම් කරන කල්හි යටි පතුල්වල දිය බුබුලු මතු වූහ. එවිට එයින් හටගත් දුක්ඛ වේදනාව ද ගණනකට නො ගෙන දැඩි සේ වෑයම් කරනුයේ, පටන් ගත් වීර්යයය ඉතා අධික වූ බැවින් බලාපොරොත්තු වූ හැටියට මාර්ග ඵල ලබා නො ගත හැකි විය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඒ බව දැක එහි පැමිණ වීණා උපමාවෙන් අවවාද දී වීර්යයය අනික් ඉන්ද්‍රියයන් හා සම කොට යොද වන විධිය දක්වමින් කර්මස්ථානය සුද්ධ කර දී ගිජ්ඣකුට පර්වතයට වැඩි සේක. සෝණ හිමි ද ශාස්තෘන් වහසේ දී වදාළ නය ක්‍රමයෙන්, වීර්යය අනික් ඉන් ඉන්ද්‍රියයන් හා සමකොට යොදා භාවනා කරනුයේ, විදර්ශනා ඥානය දියුණු කොට රහත් ඵලයෙහි පිහිටියේ ය.

එසේ ම සෙසු ඉන්ද්‍රියයන් අතුරෙන් ද එක් එක් ඉන්ද්‍රියයක් බලවත් වූ කල්හි අනික් ඉන්ද්‍රියයෝ තම තමන් ගේ කෘත්‍යයෙහි අසමර්ථ වෙති. මොවුන් අතුරෙන් ද විශේෂයෙන් ශ්‍රද්ධා-ප්‍රඥාවන්ගේ හා සමාධි-වීර්යයයන් ගේ සම භාවය සිදු කළ යුතු ය. ශ්‍රද්ධාව බලවත් ව ප්‍රඥාව අඩු පුද්ගලයා නො පැහැදිය යුතු තැන පැහැදීම ඇත්තෙක් වෙයි. හෙතෙම ගුණ දැන පහදින්නෙක් නො ව තිත්ථිය ශ්‍රාවකයන් මෙන් නො පැහැදිය යුත්තෙහි පහදින්නේ ය. ප්‍රඥාව බලවත් ව ශ්‍රද්ධාව අඩු පුද්ගලයා කෛරාටිකයෙක් වෙයි. බෙහෙතෙන් හටගත් රෝගයකට මෙන් එයට පිළියම් නො කළ හැකි ය. මේ තැනැත්තා සිතුවිලි මාත්‍රයෙන් ම කුසල් සිදු වන්නේ ය යි සීමාව ඉක්මවා කල්පනා කරමින් දන්දීම් ආදී කුසල් සිදු නො කොට නිරයෙහි උපදනේ ය. ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමකොට උපදවා ගත් තැනැත්තා පැහැදිය යුත්තෙහි ම පහදින්නේ ය. සමාධිය බලවත් ව වීර්යය අඩු පුද්ගලයා කුසීත කමට බර වන බැවින් කුසීත බව ඔහු යටපත් කරයි. එසේ ම වීර්යය බලවත් ව සමාධිය අඩු පුද්ගලයා වීර්යය උද්ධච්චයට පක්ෂ ව ඇති වන බැවින් උද්ධච්චය ඔහු යටපත් කර යි. සමාධිය වනාහි වීර්යය හා එකට යොදා ගත් කල්හි කුසීත බවෙහි ඇද නො වැටෙන්නේ ය. විර්යය හා සමාධිය එකට යොදා ගත් කල්හි උද්ධච්චයෙහි නො වැටෙන්නේ ය. ඒ නිසා ඒ දෙක සම ව තබා ගත යුතු ය.

තවද සමථ භාවනානුයෝගී පුද්ගලයා හට ශ්‍රද්ධාව මඳක් බලවත් වීමෙන් ඒ භාවනාව සාර්ථක වෙයි. එය එසේ මැයි. පඨවිකසිණය භාවනා අරමුණක් ලෙස ගතහොත් “පඨවි, පඨවි” ය යි මෙනෙහි කිරීමෙන් ධ්‍යනයක් උපදවන්නේ කෙසේ දැ යි සැක නො කොට, සම්මා සම්බුදු රජාණන් විසින් වදාරන ලද භාවනා විධිය ඒකාන්තයෙන් ම සමෘද්ධ වන්නේ ය යි විශ්වාස කොට භාවනා කිරීමෙන් ධ්‍යාන ලැබිය හැකි ය. සෙසු සමථ අරමුණෙහි ද මෙසේ ම ශ්‍රද්ධාව ඇති විය යුතු ය.

විපස්සනා යෝගියාහට නම් ප්‍රඥාව බලවත් විය යුතු ය. එවිට යෝගී තෙමේ නාම-රූප ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණය හා අනිත්‍යාදි ත්‍රිලක්ෂණය ද ඇති සැටියෙන් අවබෝධ කර ගන්නේ ය.

මෙකී ශ්‍රද්ධා, ප්‍රඥා දෙක සම ව පැවැත් ම ද අර්පනා ප්‍රතිලාභයට උපකාරයකි. සතිය වනාහි හැම තැනක දී ම බලවත්වී ම සුදුසු ය. සති තොමෝ ඒක දේසයකින් උද්ධච්චයට පක්ෂ වූ ශ්‍රද්ධා, වීර්යය, ප්‍රඥාවන්ගේ වශයෙන් විසිර යන සිත උද්ධච්චය කෙරෙන් ආරක්ෂා කර ගනී. එසේ ම කුසීතකමට ලක් වූ සමාධිය ගේ වශයෙන් කුසීත බවට වැටෙන්ට ඉඩ නො දී කුසල් සිත ආරක්‍ෂා කර ගන්නී ය. හැම ව්‍යංජනයකට ම ලුණු වුවමනා කරන්නාක් මෙන් සතිය ද හැම තැනක දීම හැම කටයුත්තක දී ම හැම ගුණ ධර්මයකට ම වුවමනා කරන්නී ය. එහෙයින් “සති ච පන සබ්බත්ථිකා වුත්තා භගවතා, කිං කාරාණා? චිත්තඤ්හි සතිපටිසරණං, න ච විනා සතියා චිත්තස්ස පග්ගහ නිග්ගහො හොති” යි අටුවායෙහි කීහ. සතිය වනාහි හැම කටයුත්තකට ම වුවමනා කරන්නී ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් නිසා ද? කුසල චිත්තය සිහිය පිළිසරණ කොට ඇත්තේ ය. සතියෙන් තොර ව සිතට නිග්‍රහය හෝ අනුග්‍රහය සිදු නොවන්නේ ය යනු ඒ අටුවා පාඨයේ අදහස යි.

දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනතා යනු ස්කන්ධ ආයතන ආදිය නූගත් දුප්ප්‍රාඥ පුද්ගලයන් ඇසුරු නො කොට දුරින් ම දුරු කිරීම ය.

පඤ්ඤවන්තපුද්ගලසේවනතා යනු ප්‍රඥාව ඇති පුද්ගලයන් ඇසුරු කිරීම ය. බහුශැත පුද්ගලයා ද ශ්‍රැතමය ඥානයෙන් යුක්ත බැවින් ප්‍රඥාව ඇත්තෙකි.

ඛන්ධපබ්බය අවසානයෙහි දැක් වූ පරිදි සමපණස් උදයබ්බය ඤාණය උපදවා තරුණ විපස්සනාවෙන් සමන්විත පුද්ගලයා ද භාවනාමය ඤාණයෙහි පිහිටා සිටින බැවින් ඒකාන්තයෙන් ම ප්‍රඥාව ඇතෙකි.

ගම්භීරඤාණචරියපච්චවෙක්ඛණතා යනු ගැඹුරු වූ ස්කන්ධාදිය අරමුණු කොට පවත්නා ප්‍රඥාව ගේ ප්‍රභේදය ප්‍රත්‍යවේක්ෂා කිරීම ය.

තදධිමුත්තතා යනු ඉඳීම්, සිටීම් ආදී ඉරියවු පවත්වන කල්හි ධම්මවිචය සම්බොජ්ඣංගය උපදවනු පිණිස එයට නැඹුරු වූ එයට අදාල වූ සිත් ඇති බව ය. උපන් ධම්ම විචය සම්බොජ්ඣංගය අවසාන වශයෙන් භාවනාවෙන් සම්පූර්ණ කිරිම සිදු වන්නේ අර්හත් මාර්ගයෙනි.

විරිය සම්බොජ්ඣඞ්ගය

පාලි

“සන්තං වා අජ්ඣත්තං වීරියසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං වීරියසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං වීරියසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං වීරියසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස වීරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස වීරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස

යෝගී තෙම තමා තුළ විරිය සම්බොජ්ඣංගය ඇතිව පවත්නා කල්හි දැන් මාගේ සන්තානයෙහි විරිය සම්බොජ්ඣංගය ඇතිව පවතින්නේ ය යි දැන ගන්නේ ය. තමාගේ සන්තානයෙහි විරිය සම්බොජ්ඣංගය නැතහොත් දැන් මාගේ සන්තානයෙහි විරිය සම්බොජ්ඣංගය නැතැ යි දැනගන්නේ ය.

යම් යෝනිසෝමනසිකාරයක් නිසා විරිය සම්බොජ්ඣංගය උපදී නම් එය ද දැනගන්නේ ය. එසේ ම උපන් විරිය සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පුර්ණ වීම යම් මාර්ගයකින් සිදුවෙයි නම් ඒ අර්හත් මාර්ගය ද දැනගන්නේ ය.

මෙනෙහි කිරීමක් මෙනෙහි කිරීමක් පාසා වීර්යයය ප්‍රකට ව පහළ වන්නේ ය. ඇතැම් විටක එක් එක් ඉරියවුවක් පටන් ගැනීමේ සිට වීර්යයය අධික වුවහොත් අවසානයෙහි ද වීර්යය අධික විය හැකි ය. එකල්හි උද්ධච්චය නිසා භාවනා මනසිකාරය අවුල් විය හැකි ය. ඇතැම් විටක දී පටන් ගැනීමේ සිට වීර්යය අඩු වුවහොත් පසු භාගයෙහි දී වීර්යයය අඩු විය හැකි බැවින් කුසීත බව හෝ අලස බව නිසා එය දුර්වල වෙයි. ආරම්භයෙහි පටන් වීර්යය අඩු වැඩි නො කොට භාවනා කිරීමෙන් හෝ අධික වන වීර්යය තරමක් අඩු කිරීමෙන් හෝ අඩු වූ වීර්යයය මඳක් වැඩි කිරීමෙන් හෝ අඩු වැඩි නො වූ සම වීර්යය ඇති ව භාවනා කරන කල්හි උද්ධච්චය ද ඇති නො වේ. කුසීත භාවය ද ඇති නො වේ. මෙසේ සම වීර්යයයයෙන් භාවනා කරන කල්හි විරියසම්බොජ්ඣංගය පහළ විය හැකි ය.

විරිය සම්බොජ්ඣංගය ඉපදවීමට උපකාර වන කරුණු එකොළොසෙක් ඇත. එනම්:

1. අපාය භය පච්චවෙක්ඛණතා,

2. ආනිසංසදස්සාවිතා,

3. ගමනවීථි පච්චවෙක්ඛණතා,

4. පිණ්ඩපාත අපචායනතා,

5. දායජ්ජමහත්ත පච්චවෙක්ඛණතා,

6. සත්ථුමහත්ත පච්චවෙක්ඛණතා,

7. ජාතිමහත්ත පච්චවෙක්ඛණතා,

8. සබ්‍රහ්මචාරී මහත්ත පච්චවෙක්ඛණතා,

9. කුසීතපුග්ගල පරිවජ්ජනතා,

10. ආරද්ධ විරිය පුද්ගලසේවනතා,

11. තදධිමුත්තතා යනු යි.

එහි අපායභයපච්චවෙක්ඛණතා යනු අපායයෙහි පවත්නා භයානක දුක් කම්කටොළු නුවණින් සලකා බැලීම ය. එනම්: නිරයෙහි උපන් සත්වයා හට පළමුකොට දෙ අත් දෙපය පපුව යන ස්ථාන පසෙහි ගිනිගෙන දිලිසෙන යකඩ උල් පසක් ගැසීමය යි කියන ලද පඤ්චවිධ බන්ධනය ය, ගිනිගෙන දිලිසෙන ලෝදිය පෙවීම ය. අඟුරු පර්වතයට නැවීම ය. ලෝකුඹු නිරයට ඇද දැමීම ය. අසිපත්‍ර වනයට ඇතුල් කරවීම ය. වේතරණියට ඇද දැමීම ය. මහා නිරයෙහි දැමීම ය. යන මේ සත් වැදෑරුම් නිරය දුක් විඳින කල්හි ද, තිරිසන් ජාතියෙහි මත්ස්‍යව ඉපිද දැල් - කෙමන් ආදියට අසු වූ කල්හි ද, ගව ආදීන්ව උපන් කල්හි ගැල් - කරත්ත ආදියෙහි යොදා දෙනු ලබන නොයෙක් පීඩා විඳින කල්හි ද, ප්‍රේත ලෝකයට පැමිණ නොයෙක් අවුරුදු දහස් ගණනක් මුලුල්ලෙහි ද, ඇතැම් විට බුද්ධාන්තරයක් මුලුල්ලෙහි ද, ආහාර පානයක් නො ලැබ බඩගින්නෙන් හා පිපාසාවෙන් ආතුරව සිටින කල්හි ද, කාලකඤ්ජක ප්‍රේත යෝනියෙහි සැට රියන් - අසූරියන් පමණ වූ සම සහිත ඇට සැකිල්ල පමණක් වූ ශරීර ඇති ව සැඩසුළං ආදිය නිසා හටගන්නා දුක් පීඩා විඳින කල්හි ද, විරිය සම්බොජ්ඣංගය ඉපදවිය නො හැකි ය. මිනිස් ලොව ඉපදී සිටින මේ කාලය එයට සුදුසු ය යි ප්‍රත්‍යවේක්ෂා කරන්නාහට ද මේ විරිය සම්බොජ්ඣංගය උපදනේ ය.

ආනිසංසදස්සාවිතා යනු විර්යයයෙහි අනුසස් දන්නා බව ය. සතර මග-සතර ඵල නිර්වාණ යන මේ නවලෝකෝත්තර ධර්මය ලැබිය හැක්කේ පටන් ගන්නා ලද වීර්යයෙන් ය. වීර්යය නො කරන කුසීතයාහට එකී ධර්මයන් නො ලැබිය හැකි ය.

ගමනවීථිපච්චවෙක්ඛණතා යනු මෙහි ගමන විථිය නම් මාර්ගයා ගේ පුර්ව භාගය සහිත වූ නිර්වාණ ගාමිනී ප්‍රතිපදා ව යි. හෙවත් විදර්ශනාව සහිත ආර්ය මාර්ග පටිපාටිය යි. නොහොත් සප්ත විශුද්ධි පරම්පරාව යි. වට්ට දුක්ඛයෙන් එතෙර වීම සඳහා එහි ගමන් කළ යුතු බැවින් එය ගමන වීථි ය යි කියනු ලැබේ. එය සියලු බුදු, පසේ බුදු, මහ සව්වන් විසින් නිවනට ගිය මාර්ගය යි. ඔබ ද එහි යා යුතු ය. කුසීතයා විසින් එහි නොයා හැකි ය යි මෙසේ ප්‍රත්‍යවේක්ෂා කිරීම ගමන වීථි පච්චවෙක්ඛණතා ව යි.

පිණ්ඩපාත අපචායනතා යනු තමාට පුදනු ලබන පිණ්ඩපාතයට ගරු සැළකිලි දැක්වීම ය. ඒ මෙසේ ය: ඔබට මේ සිවුපසය පුදන මනුෂ්‍යයෝ ඔබගේ නෑයෝ ද නො වෙති. දාසි දාසයෝ ද නො වෙති. ඔවුහු ඔබ ඇසුරෙන් ජීවත් වන්නෙමු යි සිතා මේ ප්‍රණීත පිණ්ඩපාතාදිය නො දෙති; හුදෙක් තමන් ගේ දාන කුශලය මහත් ඵල කර ගන්නෙමු යි සිතා දෙන්නාහු ය. ශාස්තෘන් වහන්සේ විසින් ද භෝජන ආදී ප්‍රත්‍යය අනු දැන වදාළේ මේ භික්ෂුව මේවා අනුභව කොට කය තර කර ගනිමින් සුවසේ වෙසේ වා යන අදහසින් නො වේ. හුදෙක් මේ භික්ෂු තෙම මේ පසය පරිභෝග කරමින් ම විදර්ශනා භාවනා කොට සංසාර වට්ටදුක්ඛයෙන් මිදෙන්නේ ය යි සිතා අනු දැන වදාරන ලදී. ඒ නිසා දැන් ඔබ කුසීත ව විසුව හොත් ඒ පිණ්ඩයට නො පුදන්නෙහි ය. ගරු නො කරන්නෙහි ය. පටන් ගන්නා ලද වීර්යය ඇත්තහුට පිණ්ඩපාත අපචායනය සිදු කළ හැකි ය. ඒ නිසා මහාමිත්ත තෙරුන්නාන්සේ මෙන් පිණ්ඩපාත අපචායනය ප්‍රත්‍යවේක්ෂා කරන්නාහට ද විරිය සම්බොජ්ඣංගය පහළ වන්නේ ය.

පිණ්ඩපාතය ගරුකොට විරිය සම්බොජ්ඣංගය වඩා රහත් වූ මහාමිත්ත තෙරුන් වහන්සේන්ගේ කථා ප්‍රවෘත්තිය මෙසේ යි: මහාමිත්ත හිමිතුමා කස්සක ලෙණෙහි නිතර භාවනානුයෝගී ව වාසය කරයි. උන්වහන්සේ පිඬු සිඟා යන ගොදුරු ගමෙහි සැදැහැවත් මහා උපාසිකාවක් මිත්ත හිමි තුමන් පුත්‍රයකු සේ සලකා පෝෂ්‍ය කර යි. ඇය එක් දිනෙක කටයුත්තක් සඳහා වනයට යන්නී දුව අමතා, “දුවණියෙනි! අසුවල් තැන කිරි ඇත. අසවල් තැන සහල් ඇත. අසුවල් තැන ගිතෙල් ඇත. අසුවල් තැන පැණි ඇත. නුඹගේ සොහොයුරු අය්‍ය මිත්ත ස්වාමීන් වහන්සේ පැමිණි කල්හි කිරි, ගිතෙල්, පැණි සමඟ, බත් පිස උන්වහන්සේ දෙව, නුඹත් අනුභව කරව; මම වනාහි ඊයේ රෑ පිසූ හීල් බත් කාඩිඉස්ම සමඟ අනුභව කළෙමි” ය යි කිවා ය. “මෑණියෙනි! දවල් කුමක් අනුභව කරන්නෙහිදැ” යි දුවණිය ඇසු කල්හි, “දියණියෙනි! පලා කොළ දමා කඩ සහලින් ඇඹුල් කැඳක් උයා තබව” යි කියා ගියා ය. ස්ථවිර තෙමේ සිවුර ගැටවටු ගන්වා පාත්‍රය ථවිකායෙන් නිකුත් කොට ගනුයේ ම ඒ කථා ශබ්දය දිබ්බසෝතයෙන් අසා තමාට අවවාද කර ගත්තේ ය. ( ඒ කථාව අසන්ට ලැබුණේ අභිඥාලාභී ව සිටි නිසා දිබ්බසෝතයෙන් යයි ද ඒ පන්සල පිහිටා තිබුණේ කඳු ගැට පෙලකින් වට වූ වන ලැහැබක බැවින් කන්දෙන් එහා ගෙදර සිට කළ ඒ කථාව ප්‍රකෘති සෝතයෙන් ම අසන්ට ලැබුණේ යයි ද කියති. )

තමාට අවවාද කරගත් සැටි:

“මහා උපාසිකාව කාඩි දිය සමඟ හීල් බත් අනුභව කළාලු. දවාලට ද කඩ සහල් සහ පලා කොළවලින් පිසූ ඇඹුල් කැඳක් අනුභව කරනවා ලු. තොපගේ ප්‍රයෝජනයට සහල් ආදියෙන් දන් පිළියෙල කරන්නට කිය යි. ඒ උපාසිකාව තොප නිසා කෙතක් හෝ ඉඩමක් නො පත යි. බතක් හෝ වස්ත්‍රයක් ද නො පතයි. දෙව්මිනිස් සැප හා නිවන් සැප ද යන ත්‍රිවිධ සත් ප්‍රාර්ථනා කරගෙන ම දෙයි. යුෂ්මතා ඇයට ඒ සම්පත් දෙන්ට හැකිවන්නෙහි ද නො හැකි වන්නෙහිදැ “ යි මෙසේ. අවවාද කර ගත්තේ ය. ‘“ඒකාන්තයෙන් ම මේ පිණ්ඩපාතය ඔබ විසින් රාග සහිත ව - ද්වේෂ සහිත ව මෝහ සහිත ව අනුභව කරන්ට නො වටන්නේ ය” යි තමාට අවවාද කොට පාත්‍රය ආපසු ඵවිකායෙහි බහා, සිවුරු ගැටවටුව ලිහා පිඬු පිණිස නො ගොස් නැවතී කස්සක ලෙණ තුළට ම ගොස්, පාත්‍රය ඇඳ යට ද දෙපට සිවුර සිවුරු වැලෙහි ද තබා “රහත් බවට නො පැමිණ නො නික්මුනෙමැ’යි වීර්යය ඉටා ගෙන ඉඳින ඉරියව්

වෙන් වැඩ හුන්නේ ය. බොහෝ කලක් අප්‍රමාද ව විසූ ඒ භික්ෂු තෙම විදර්ශනා වඩා පෙරවරු කාලයෙහි ම රහත් ඵලයට පැමිණ, ‘මා විසින් සුවසේ ම වට්ට දුක්ඛය අවසන් කරන ලද්දේ “ ය යි ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් පසු හටගත් ප්‍රමෝද්‍යයාගේ වශයෙන් පිපුණු පියුමක් මෙන් සිනා පහළ කරමින් ම පිඬු පිණිස නික්ම යාමට සූදානම් වී ය. එවිට ලෙණ අසල රුකෙහි අධිගෘහිත ව සිටි දේවතා තොමෝ,

“නමෝ තේ පුරිසාජඤ්ඤ - නමෝ තේ පුරිසුත්තම

යස්ස තේ ආසවා බීණා - දක්ඛිණෙය්‍යාසි මාරිස”

යනුවෙන් “ස්වාමීනි! නුඹ වහන්සේ වැනි රහතුන්ට දන් පිළිගන්වා මහලු ස්ත්‍රීහු දුකින් මිදෙන්නාහුය’ යි. ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කොට, කීවා ය. ගාථාවේ අදහස “නිදුකාණන් වහන්ස! යම්බඳු වූ නුඹ වහන්සේගේ ආශ්‍රව ක්ලේශයෝ ක්ෂය වූවාහු ද එහෙයින් දන් පිළි

ගැනීමට සුදුසු වූයෙහි ය. පුරුෂෝත්තමයාණන් වහන්ස! නුඹ වහන්ස! මාගේ නමස්කාරය වේ වා! මම නුඹ වහන්සේට නමස්කාර කරමි” යනු යි. මිත්ත හිමි තුමා හුනස්නෙන් නැගිට, දොර විවෘත කොට, වේලාව බලනුයේ පෙරවරු කාලය ම ය යි දැන පා සිවුරු ගෙන ගමට ප්‍රවිෂ්ට වී ය. ළදැරිය ද දානය සම්පාදනය කොට දැන් මාගේ සොහොයුරු ස්වාමීන් වහන්සේ වඩිනවා ඇතැයි දොර විවෘත කර බලමින් උන්නා ය. තෙරුන් ගෙදොරට වැඩ වදාළ කල්හි, ඕතොමෝ පාත්‍රය ගෙන ගිතෙල් පැණියෙන් යොදන ලද ක්‍ෂීර පායාස පිණ්ඩපාත භෝජනයෙන් පුරවා උන්වහන්සේගේ අත්ලෙහි තැබුවා ය. තෙරුන්නාන්සේ “සුඛී හොන්තු, සුවපත් වේ වා” යි අනුමෝදනය කොට සෙනසුන කරා වැඩි සේක. ළදැරිය ද උන්වහන්සේ දෙස බලමින් ම සිටියා ය. කුමක් හෙයින් ද යත්? එදා ඒ තෙරුන්නාන්සේගේ ඡවි වර්ණය වැඩියක් පිරිසිදු වී ය. ඇස ආදී ඉන්ද්‍රියයෝ වැඩියක් ප්‍රසන්න වූහ. මුහුණ ඉදී තැරියෙන් මිදුනු තල් ගෙඩියක මුදුන මෙන් වැඩියක් බබලන්ට වී ය. එහෙයිනි.

මහා උපාසිකාව වනයේ සිට සිය නිවෙස කරා පැමිණ, “කෙසේ ද? දියණියෙනි! තිගේ සොහොයුරු ස්වාමීන් වහන්සේ පිඬු පිණිස වැඩිසේක් දැ” යි ඇසුවා ය. ඈ ඒ සිදු වූ සියලු පුවත් ම මෑණියන්ට කීවා ය. මහා උපාසිකා තොමෝ අද මාගේ පුත්‍ර භික්ෂුවගේ පැවිදි කිස රහත් වීමෙන් මස්තක ප්‍රාප්ත වී ය යි දැන දියණියෙනි ! තිගේ සොහොයුරු තෙම මෙවක් පටන් බුදු සසුනෙහි වෙසෙසින් ඇලෙයි, නො කලකිරෙන්නේ ය යි කීවා ය.

දායජ්ජමහන්තතා යනු ශාස්තෘන් වහන්සේ වෙතින් ලැබෙන්නට තිබෙන සප්තවිධ උතුම් ආර්ය ධ්‍යාන සංඛ්‍යාත දෑවැද්ද ය. ශාස්තෘන් වහන්සේගේ ඒ ආර්යය ධනය රන්, රිදී, මුතු මැණික් ආදියට වඩා ඉතා උතුම් ය. උසස් ය. ඒ ආර්ය ධනය කුසීත ව විසීමෙන් නොලැබිය හැකි ය. මවුපිය දෙදෙනාට අකීකරුව, හිතුවක්කාරයෙක් ව වාසය කරන පුත්‍රයා මොහු අපගේ පුත්‍රයෙක් නො වේ ය යි පුත්‍ර භාවයෙන් ඉවත් කළ කල්හි, ඔහුට මවුපියන්ගේ වස්තුව දෑවැද්ද වශයෙන් අයිති නොවන්නාක් මෙන් කුසීත ව, කම්මැලි ව විදර්ශනාවෙන් තොර ව වාසය කරන තැනැත්තා ද, ශාස්තෘන් වහන්සේගේ මේ ආර්යය ධන නමැති දෑවැද්ද නො ලබන්නේ ය. භාවනායෙහි පටන් ගත් වීර්යය ඇති පුද්ගලයා ම මේ සාසනික වූ දෑවැද්ද ලබා ගන්නේ ය යි ඒ දෑවැද්ද පිළිබඳ උතුම් බව නුවණින් සලකා බැලීමෙනුත් විරිය සම්බොජ්ඣංගය උපදනේ ය.

සත්ථුමහත්තපච්වෙක්ඛණතා යනු ශාස්තෘන් වහන්සේගේ උතුම් බව නුවණින් සලකා බැලීම ය. ඒ මෙසේයි: තාගේ ශාස්තෘන් වහන්සේ උතුම් වූහ. උන්වහන්සේ මවුකුස පිළිසිඳ ගන්නා කල්හි ද, අබිනික්මනෙහි ද, සර්‍වතාඥානය අවබෝධ කරන කල්හි ද, දම්සක් පවත්වන කල්හි ද, යමාමහ පෙළහර දක්වන කල්හි ද, දෙලොවින් සංකස්ස නුවරට බසින කල්හි ද, ආයුසංස්කාරය අත්හරින කල්හි ද, පිරිනිවන් පානා කල්හි ද, දසදහසක් ලෝක ධාතුව කම්පා වූවා ය.මෙබඳු ශාස්තෘ ශාසනයෙක පැවිදි ව තාහට කුසීතවන්ට වටනේ දැ යි මෙසේ ශාස්තෘන් වහන්සේගේ උතුම් බව, උසස් බව මෙනෙහි කිරීමෙනුත් විරියසම්බොජ්ඣංගය පහළ වන්නේ ය.

ජාතිමහත්තපච්වෙක්ඛණතා යනු ශාස්තෘන් වහන්සේගේ ජාතියේ උතුම් බව හෝ උසස් බව සැලකීම ය. තොප දැන් ජාතියෙනුත් පහත් ජාති ඇත්තෙක් නොවන්නෙහි ය. අසභින්න වූ - කලවන් නො වූ මහා සම්මත පරම්පරාවෙන් පැවැත ආ උක්කාක රාජ වංශයෙහි උපන්නෙහි ය. සිරි සුදොවුන් මහ රජහුගේ සහ මහා මායාදේවියගේ ද මුණුබුරෙක් වූයෙහි ය. උතුම් රාහුල තෙරුන්ගේ මළණු වුයෙහි ය. මෙවැනි බුද්ධ පුත්‍ර වූ තා විසින් කුසීත ව විසීම නුසුදුසු ය යි මෙසේ ජාතියේ උසස් බව මෙනෙහි කිරීමෙනුත් විරිය සම්බොජ්ඣංගය පහළ වන්නේ ය.

සබ්‍රහ්මචාරීමහත්තපච්චවෙක්ඛණතා යනු තමාගේ පරම්පරාවේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ උතුම් බව ප්‍රත්‍යවේක්ෂා කිරීම ය. ඒ මෙසේ යි. සැරියුත් මුගලන් දෙනම සහ මහා ශ්‍රාවකයන් වහන්සේලා ද වීර්යය හේතු කොට ගෙන ම ලෝකෝත්තර ධර්‍මය ප්‍රතිවේධ කළාහු ය. තොප ඒ උතුම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගිය මාර්ගයෙහි ගමන් කරන්නෙහි ද, ගමන් නො කරන්නෙහි දැ යි. මෙසේ නුවණින් සැලකීමෙන් ද මේ විරිය සම්බොජ්ඣඞ්ගය උපදන්නේ ය.

කුසීතපුග්ගලපරිවජ්ජනතා නම් අලස පුද්ගලයන් සේවනය - භජනය - පයිරුපාසනය නො කොට දුරින් ම දුරු කිරීම ය. එනම්: භාවනා නො කර - භාවනා යන නාම මාත්‍රයක් වත් නො දැන, වැඩකට නැති නිෂ්ඵල වචන කථාකරන - කය තරකර ගැනීමට බඩ පිරෙන තෙක් ආහාර අනුභව කොට කායික චෛතසික වීර්යයෙන් තොර ව පිඹුරන් සේ නින්දෙහි ඇලුම් කරන කම්මැලියන් ඇසුරු නො කිරීම ය.

ආරද්ධවිරියපුග්ගල සේවනතා යනු භාවනාවෙහි පටන් ගත් වීර්යයය ඇත්තවුන් ඇසුරු කිරීම ය. එනම් දවස මුලුල්ලෙහි සක්මන් කිරීම හා ඉඳීම යන ඉරියවු දෙකින් යුක්ත ව ජීවිත පරිත්‍යාගයෙන් නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව දැඩි උත්සාහයෙන් භාවනා කරන උතුමන් ඇසුරු කිරීම ය.

තද්ධිමුත්තතා යනු ථිනමිද්ධය දුරු කිරීමෙන් වීර්යයයට නැමුනු සිත් ඇති බව ය. මෙසේ උපන් විරිය සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වන්නේ රහත් මාර්ගයෙන් ය යි දැන ගන්නේ ය.

පීති සම්බොජ්ඣංගය

පාලි

“සන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස:

තමාගේ සන්තානයෙහි පීතිසම්බොජ්ඣංගය විද්‍යමාන ව පවත්නා කල්හි දැන් මා තුළ පීති සම්බොජ්ඣංගය ඇත්තේ ය යි දැන ගන්නේ ය. යම් කලෙක තමා තුළ පීතිසම්බොජ්ඣංගය නැති නම් ඒ නැති බව ද දැන ගන්නේ ය. යම් යෝනිසෝ මනසිකාරයක් නිසා නූපන් පීතිසම්බොජ්ඣංගය උපදී නම් ඒ යෝනිසෝමනසිකාරයත් දැන ගන්නේ ය. උපන් පීති සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම යම් මාර්ගයකින් සිදු වෙයි නම් ඒ රහත් මාර්ගය ද දැන ගන්නේ ය.

විදර්ශනා කමටහන් අරමුණ මෙනෙහි කරන කල්හි ඒ විදර්ශනා අරමුණෙහි සිත පිනවමින් භාවනාවෙහි සිත උකටලී කරවන, අරතිය දුරුකොට කුශලයෙහි සිත අලවන ධර්මරතිය දියුණු කරවමින් සිතේ ඇතිවන ප්‍රීතිය මාර්ගඥානයට උපකාර වන බැවින් පීතිසම්බොජ්ඣංගය ය යි කියනු ලැබේ.

ප්‍රීතිය වනාහි

1. ඛුදික්කා පීති ය,

2. ඛණිකා පීති ය,

3. ඔක්කන්තිකා පීති ය,

4. උබ්බේගා පීති ය,

5. ඵරණා පීති ය යි පස් වැදෑරුම් වේ.

එහි ඛුද්දිකා පීති නම්, ශරීරයෙහි ලොමු දැහැ ගැනීම (ලොම් කෙළින් කරවීම) පමණක් සිදු කොට නැවත නූපදින ප්‍රීතිය යි.

ඛණිකා පීති නම්, විදුලියක් සේ ක්ෂණයක් පාසා උපදනා ප්‍රීති ය යි. එය බහුල වශයෙන් උපදී.

ඔක්කන්තිකා පීති නම්, මුහුදු වෙරළට රැල ගසන්නාක් මෙන් නිතර කය සෑම තැන ම පැතිර යමින් නැගි නැගී බසින ප්‍රීති ය යි.

උබ්බේගා පීති යනු ශරීරය අහසට නැවීමට තරම් වේගවත් ප්‍රීති ය යි. එය මේ කථා පුවතින් දත හැකි ය.

එනම්:- පුණ්ණපාලික විහාරයෙහි වැඩ වසන මහාතිස්ස හිමිතුමා පුණු පොහෝ දිනක සිය අරමේ සෑ මලුවට ගොස් චන්ද්‍රාලෝකය දැක “මේ වේලාවෙහි භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිවු පිරිස රුවන්වැලි මහ සෑය වඳිති ය” යි සිතා පෙර තමන් ඒ වැඳීම දුටු සැටි මෙනෙහි කොට බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා ගත්තේ ය. බලවත් වූ ඒ ප්‍රීතිය නිසා පොළොවේ ගැසූ රබර් පන්දුවක් මෙන් එතුමාගේ ශරීරය අහසට නැඟී මහ සෑ මලුවෙහි පහත් වී ය. එය සිදුවූයේ සෘද්ධි බලයෙන් නො ව ප්‍රීති වේගය නිසා ය.

ඒ ගැන ම තව කථාපුවතක් ඇත. එනම්, ගිරි කණ්ඩවිහාරයට නුදුරු වත්තකාල ගමෙහි එක් තරුණ කුලදියණියකගේ මවුපිය දෙදෙන සවස බණ ඇසීමට විහාරයට යන්නාහු “දුවේ! ගර්භනීව සිටින ඔබට නො කල්හි ඇවිදීම සුදුසු නැත, අපි ඔබට ත් පින් සඳහා බණ අසන්නෙමු ය” යි කියා ගියහ. බලවත් ශ්‍රද්ධාව ඇති ඕ තොමෝ යනු කැමැති වුවත් මවුපිය දෙදෙනාගේ වචනයට කීකරු ව ගෙදර නැවතුනා ය. ගෙමිදුලේ සිට බලන කල්හි සඳ එළිය නිසා ගිරිකණ්ඩයේ කඳු මුදුනේ පිහිටි චෛත්‍යය බලන ඇයට පහන් පූජාව පෙනුණි. සෑය වැඳ ප්‍රදක්ෂිණා කරන සැදැහැවතුන් ද දකින්ට ලැබුණි. “මෙවැනි චෛත්‍යයක් ළඟට පැමිණ මල් පහන් ආදිය පුදමින් හැසිරෙන්ට ලබන්නෝ ද, මිහිරි බණ අසන්ට ලබන්නෝ ද ඒකාන්තයෙන් භාග්‍යවන්තයෝ වෙති ය” යි සිතන ඇයට උබ්බේගා පීතීය උපන්නී ය. ඒ ප්‍රීති වේගය නිසා ඉන්ට ම අහසට නැගුණු ඕතොමෝ මවුපියන් එහි පැමිණෙන්ට පෙර ම චෛත්‍ය මලුවට අහසින් බැස චෛත්‍යය වැඳ බණ අසමින් උන්නා ය. මවුපිය දෙදෙන එතැනට අවුත් ඇය දැක, “ආවේ කොයි මගින්දැ” යි විචාරණ ලද්දී, “අහසින් ආවෙමි” ය යි කීවා ය. “දුවණියනි! අහසින් ගමන් කරන්නේ රහතන් වහන්සේලා ය, නුඹ කෙසේ ආවෙහිදැ” යි ඇසූ විට සිදු වූ සැටි විස්තර කොට කීවා ය. මෙසේ උබ්බේග පීතිය පුලුන් පොදක් සේ ශරීරය ආකාශයෙහි පාකර හැරීමෙහි සමර්ථ වන්නී ය.

ඵරණ ප්‍රීතිය නම් සුළං පිර වූ රබර් කොට්ටයක මෙන් සකල ශරීරය තුළ පැතිරී ගිය ප්‍රීතියකි.

මෙහි වනාහි බෝධිසංඛ්‍යාත මාර්ග ඥානයට උපකාරවන විදර්ශනා ඥානය හා යෙදෙන ප්‍රීතිය ද මාර්ග ඥානය හා යෙදෙන ප්‍රීතිය ද පීති සම්බොජ්ඣංග ය යි කියනු ලැබේ.

ප්‍රීති සම්බොජ්ඣංගය ඉපදවීමට උපකාර වන කරුණු එකොළොසක් ඇත. එනම්:

1. බුද්ධානුස්සති,

2. ධම්මානුස්සති,

3. සංඝානුස්සති,

4. සීලානුස්සති,

5. චාගානුස්සති,

6. දේවතානුස්සති,

7. උපසමානුස්සති,

8. ලූඛපුග්ගලපරිවජ්ජනතා,

9. සිනිද්ධපුග්ගලසේනතා,

10. පසාදනීය සුත්තන්ත පච්වෙක්ඛණතා,

11. තදධීමුත්තතා යනු යි.

එහි බුද්ධානුස්සති යනු බුදුගුණ නැවත නැවතත් සිහිකිරීම ය.

ධම්මානුස්සති යනු ත්‍රිපිටක පර්යාප්තිය හා මාර්ග ඵල නිර්වාණ යන දහම් ගුණ නැවත නැවතත් සිහි කිරීම ය.

සංඝානුස්සති යනු ආර්යය සංඝයාගේ ගුණ නැවත නැවත ත් සිහි කිරීම ය.

සීලානුස්සති යනු තමා විසින් රක්නා ලද පිරිසිදු සීලය නැවත නැවතත් සිහි කිරීම ය.

චාගානුස්සති යනු තමාගේ ත්‍යාග ගුණය හෙවත් තමා විසින් දුන් දානය පිළිබඳ මසුරු මල දුරු කිරීම් වශයෙන් පැවැති පිරිසිදු ත්‍යාග ගුණය නැවත නැවතත් සිහි කිරීම ය.

දේවතානුස්සති යනු දේවතාවෝ ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා, හිරි, ඔත්තප්ප යන යම් සත්පුරුෂ ධර්මයකින් යුක්ත ව දේවත්වයට ගියාහු ද, එවැනි ගුණධර්ම මා තුළ ද ඇතැයි දෙවියන් ශිෂ්‍ය කොට ගෙන තමා තුළ පවත්නා ශ්‍රද්ධා-ශීල ආදී ගුණයන් නැවත නැවතත් සිහි කිරීම ය, සිහි කරමින් ඒවා දියුණු කිරීම ය.

උපසමානුස්සති යනු නිර්වාණයේ පවත්නා දුක් සංසිඳ වීමේ ගුණය නැවත නැවත ත් සිහි කිරීම ය.

ලුඛපුග්ගලපරිවර්ජනතා යනු පැහැදිය යුතු බුදුගුණ දහම් ගුණ සඟ ගුණ ආදියෙහි ප්‍රසාද ස්නේහයක් නො මැති ව රූක්ෂ (තද හිත් ඇති) පුද්ගලයන් ඇසුරු නො කොට දුරින් ම දුරුකිරීම ය. එසේ දුරු කරනු ලබන්නේ තමා රත්නත්‍රය කෙරෙහි ආදර ගෞරව කරන නිසා එයට බාධා විය හැකි බැවිනි.

සිනිද්ධපුද්ගලසේනතා යනු බුද්ධාදීන් කෙරෙහි ප්‍රසාදය බහුල කොට ඇති මෘදු මොලොක් සිනිඳු සිත් ඇති පුද්ගලයන් ඇසුරු කිරීම ය.

පසාදනීය සුත්තන්ත පච්චවෙක්ඛණතා යනු රත්නත්‍රයයේ ගුණ ප්‍රකාශ කොට ඇති සූත්‍ර ධර්මයන් ඉගෙන එහි අර්ථ අදහස් විමසා බැලීම ය.

තද්ධිමුත්තතා යනු ඉඳීම් සිටීම් ආදී ඉරියවු පවත්වන හැම අවස්ථාවකදී ම විදර්ශනා ප්‍රීතිය උපදවා ගන්ට ඕනෑ ය යි එයට නැමුනු සිත් ඇති බව ය.

බුදු ගුණ සිහි කිරීමෙන් හටගන්නා ප්‍රීතිය නිසා උපදවන ප්‍රණීත චිත්තජ රූපවලින් සකල ශරීරය පුරවාලමින් පීතිසම්බොජ්ඣංගය පහළ වෙයි.

“සභාවත්තා ච නේකත්තා - එකස්සාපි ච ගම්භීරා

බුද්ධානුස්සති ආදීසු - උපාචාරො ව නාප්පනා”

යි කී බැවින් ඉතා ගැඹුරු පරමාර්ථ ස්වභාව ධර්‍ම වූ බැවින් ද බුදුගුණ, දහම් ගුණ ආදියෙහි බොහෝ කොටස් ඇති බැවින් ද, එක එක ගුණයක් ගෙන බැලුවත් එය අතිශයින් ගැඹුරු බැවින් ද, බුදු ගුණ ආදී කමටහන් මෙනෙහි කිරීමෙන් - සිහි කිරීමෙන් උපාචාර සමාධිය මිස අන්‍ය සමාධියක් උපදවාගත නො හැකි ය.

එසේ ම බොහෝ කලක් කඩ නො කර රත්නා ලද ශිලය ප්‍රත්‍යවේක්ෂ කරන කල්හි ද, ප්‍රණිත භෝජනය සිල්වතුන්ට දුන්නෙමැ යි ප්‍රත්‍යවේක්ෂා කරන කල්හි ද, දේවත්වයට පැමිණි දෙවියන් තුළ පැවැති ශ්‍රද්ධා ශීලාදී ගුණ ධර්ම තමා තුළ පවත්නා බව සිහි කරන කල්හි ද, භාවනාවෙන් යටපත් වූ කෙලෙස් නූපදනා බව ප්‍රත්‍යවේක්ෂා කිරීම ද වෙහෙර විහාර, බෝධි, චෛත්‍ය ආදී සිද්ධස්ථානයන් සහ සිල්වත් ගුණවත් පැවිදි උතුමන් කෙරෙහි ගරු සැලකිලි නො දක්වන කටුක - රළු පුද්ගලයන් දුරු කොට, බුද්ධාදී උතුම් වස්තූන්හි ප්‍රසාදය බහුල කොට ඇති මෘදු මොළොක්

උතුමන් සේවනය කරමින්, ප්‍රසාදය වැඩි දියුණු කරවන දහම් කොටස් භාවිතා කරමින්, නිතර භාවනා ප්‍රීතියට නැමුනු සිත් ඇති ව වාසය කරන්නාහට පහසුවෙන් ම පීතිසම්බොජ්ඣංගය පහළ වන්නේ ය. මෙසේ යෝගාවචරයාහට උපන් ප්‍රීතිය අවසාන වශයෙන් මස්තකප්‍රාප්තවන්නී රහත් මාර්ගයෙන් ය යි දැන ගන්නේ ය.

පස්සද්ධි සම්බොජ්ඣංගය

පාලි

“සන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස:

තමා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය විද්‍යමානව පවත්නා කල්හි දැන් මා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය ඇත්තේ ය යි යෝගී පුද්ගලයා දැන ගන්නේ ය. තමා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතහොත් දැන් මා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතැ යි දැන ගන්නේ ය. යම් යෝනිසෝමනසිකාරයක් නිසා නුපන් පස්සද්ධි සම්බොජ්ඣංගය උපදී නම් එය ද දැන ගන්නේ ය. එසේම උපන් පස්සද්ධිසම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම යම් ආර්‍ය්‍ය මාර්ගයකින් සිදුවෙයි නම් ඒ අර්හත් මාර්ගයත් දැන ගන්නේ ය.

එහි විස්තරය:

කමටහන් අරමුණ මෙනෙහි කිරීමෙන් ප්‍රීතිය ඇති වූ පසු නිරුත්සාහයෙන් ම සිතේ ඇතිවන සන්සුන්කම හෝ සැනසිල්ල පස්සද්ධිසම්බොජ්ඣංග ය යි. මේ ප්‍රීතිය හා පස්සද්ධිය උදයබ්බය ඤාණය පහළ වීමේ පටන් අතිශයින් ප්‍රකට වන්නේ ය. එකල්හි පෙර නූපන් විරූ සතුට හා සැනසිල්ල ඇති වන බැවින් ඒ සතුට හා සැනසිල්ල මෙතෙකැ යි ප්‍රමාණ නො කළ හැකි ය. “සබ්බං රතිං ධම්මරතී ජිනාති” ය යි වදාළ පරිදි ස්ත්‍රීන් කෙරෙහි ද, දු පුතුන් කෙරෙහි ද, රන් රිදී මුතු මැණික් ආදිය කෙරෙහි ද, නැටුම් ගැයුම් ආදිය කෙරෙහි ද, පවත්නා අනේක ප්‍රකාර වූ රතියක් ඇලීමක් - ප්‍රීතියක් වෙයි නම්, ඒ හැම රතියකට වඩා ඒ හැම ප්‍රීතියකට වඩා ධර්ම රතිය ම - ධර්ම ප්‍රීතිය උතුම් වෙයි. සංසාර වට්ට දුක්ඛය අවසන් කොට නිවන් දැකීමට උපකාර වන බැවිනි.

යෑම්, සිටීම්, ඉඳීම්, හොවීම්, අතපය හැකිලීම්, දිග හැරීම්, සිතින් මෙනෙහි කිරීම් ආදී හැම කාය චිත්ත ක්‍රියාවකදී ම සුඛ වේදනාවෙන් තොර නො වන බැවින් හැම විට ම සුවසේ විසිය හැකි බව දැනෙන්නේ ය. ප්‍රීති වේගය නිසා ශරීරයට පවන් සලන්නාමෙන් කාය චිත්ත දාහය සංසිඳෙනේ ය. පස්සද්ධිය දියුණු වූ කල්හි භාවනා අරමුණ මෙනෙහි නො කොට ද සන්සුන් බව සිහිල් බව දැනෙන්න පටන් ගනී. භඞ්ග ඤාණය ආදී විදර්ශනා ඥාන අවස්ථාවන්හි මේ ප්‍රීතිය හා පස්සද්ධිය ඇතැම් විටක දී පමණක් ප්‍රකට විය හැකි ය. එහෙත් සංඛාරුපෙක්ඛා ඤාණ අවස්ථාවෙහි වනාහි ඇතැම් විට වැඩි කාලවේලාවක් ප්‍රකටව පවතී.

මෙසේ විපස්සනා කමටහන් අරමුණ මෙනෙහි කිරීමේ දී විශේෂ උත්සාහයක් නැතිව ම යෝගාවචරයාගේ කයේ හා සිතෙහි දැවිල්ලක් හෝ වෙහෙසීමක් නො මැති ව පහළ වී එන සංසුන් සැප ගතිය පස්සද්ධි සම්බොජ්ඣංග ය යි. පස්සද්ධි සම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාර වන කරුණු සතක් ඇත.

එනම්,

1. පණීතභෝජනසේවනතා,

2. උතුසුඛසේවනතා,

3. ඉරියාපථ සුඛ සේවනතා,

4. මජ්ඣත්ත පයෝගතා,

5. සාරද්ධ කායපුද්ගලපරිවජ්ජනතා,

6. පස්සද්ධ කායපුග්ගලසේවනතා,

7. තදධිමුත්තතා යනු යි.

එහි පණීතභෝජනසේවනතා යනු රසවත් වූ, මිහිරි සප්පාය භෝජනය අනුභව කිරීම යි.

උතුසුඛසේවනතා යනු ශීත - උෂ්ණ ගුණයන් අතුරෙන් තමාගේ ශරීරයට ගැළපෙන - සැපවත් ඍතු ගුණයක් සේවනය කිරීම ය.

ඉරියාපථසුඛසේවනතා යනු යෑම ය, සිටීම ය, ඉඳ ගැනීම ය, හොවීම ය, යන සතර ඉරියව්වලින් යම් ඉරියවුවක් සුව සේ පැවැත්විය හැකි නම් එම ඉරියව් වෙන් භාවනා කිරීම ය.

මජ්ඣත්තපයෝගතා යනු තමාගේ හා මෙරමාගේ ස්වකීය වස්තුව කුශලාකුශල කර්මය බව සැලකීමෙන් හැම අවස්ථාවක දී ම මැදහත් පැවතුම් ඇති බව ය.

සාරද්ධකායපුද්ගලපරිවජ්ජනතා යනු ගල්කැට, දඬු මුගුරු ආදියෙන් අනුන්ට පීඩා කරමින් හැසිරෙන - නො සන්සුන් පුද්ගලයන් දුරින් ම දුරු කිරීම ය.

පස්සද්ධකායපුග්ගලසේවනතා යනු අත පය හික්මවා ගත් සන්සුන් කර ඇති පුද්ගලයන් ඇසුරු කිරීම ය.

තදධිමුත්තතා යනු පස්සද්ධිය උපදවනු පිණිස එයට නැමුණු සිත් ඇති බව ය. මෙකී කරුණු වලින් උපදවා ගත් පස්සද්ධිය භාවනාවෙන් ඉහළට ම සම්පුර්ණ වන්නේ රහත් මගින් යයි යෝගී පුද්ගලයා දැන ගන්නේ ය.

සමාධි සම්බොජ්ඣඞ්ගය

පාලි

“සන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස

තමා තුළ සමාධි සම්බොජ්ඣංගය ඇතිව පවත්නා කල්හි දැන් මාගේ සන්තානයෙහි සමාධි සම්බොජ්ඣඩ්ගය ඇතිව පවතින්නේ ය යි දැනගන්නේ ය. තමා තුළ සමාධි සම්බොජ්ඣංගය නැති නම් ඒ බව ද දැන ගනේ ය. යම් යෝනිසෝමනසිකාරයකින් සමාධි සම්බොජ්ඣංගය උපදී නම් එයත් දැන ගන්නේ ය. උපන් සමාධි සම්බොජ්ඣඩ්ගය යම් ආර්ය මාර්ගයකින් භාවනාවෙන් පරිපූර්ණ වෙයි නම් ඒ රහත් මාර්ගය ද දැන ගන්නේ ය.

එහි විස්තරය:

කමටහන් අරමුණ මෙනෙහි කිරීමක් - මෙනෙහි කිරීමක් පාසා මෙනෙහි කරනු ලබන අරමුණෙහි ම සිත පිහිටුවාගෙන එහි ම සිත ඇලී ගැලී පවත්නා සේ වෙන අරමුණකට සිත නො යවා සිත තැන්පත් කොට තබා ගත යුතු ය. සිතේ තැන්පත්කම දියුණු වූ කල්හි මෙනෙහි කරනු ලබන නාම රූපයන්ගේ ස්වභාව ලක්ෂණ ආදිය සහ ඇතිවන, නැතිවන අනිත්‍ය ලක්ෂණය ආදී සාමාන්‍ය ලක්ෂණය ද ඇති සැටියෙන් දැනගත හැකි වන්නේ ය. මෙනෙහි කරන අවස්ථාවෙහි තීක්ෂණව පහළ වී එන ඛණිකසමාධිය සමාධිසම්බොජ්ඣඞ්ගය යි.

සමාධිසම්බොජ්ඣංගය ඉපද වීමට උපකාර වන අඞ්ග (කරුණු) එකොළොසක් ඇත.

එනම්:-

1. වත්ථුවිසදකිරියතා,

2. ඉන්ද්‍රියසමත්ත පටිපාදනතා,

3. නිමිත්තකුසලතා,

4. සමයේ චිත්තස්ස පග්ගණ්හනතා,

5. සමයේ චිත්තස්ස නිග්ගණ්හනතා,

6. සමයේ සම්පහංසනතා,

7. සමයේ අජ්ඣුපෙක්ඛණතා

8. අසමාහිත පුද්ගල පරිවජ්ජනතා,

9. සමාහිතපුග්ගලසේවනතා,

10. ඣානවිමොක්ඛ පච්චවෙක්ඛණතා,

11. තදධිමුක්තතා යනු යි.

ඒ අගයන් අතුරෙන් වත්ථුවිසදකිරියතා යනු අධ්‍යාත්මික බාහිර වස්තූන් පිරිසිදු කර ගැනීම ය.

ඉන්ද්‍රිය සමත්තපටිපාදනතා යනු ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් සම බවට පමුණුවා ගැනීම ය. මේ අංග දෙක ධම්මවිචය සම්බොජ්ඣංගයෙහි කී සෙයින් දත යුතු ය.

නිමිත්තකුසලතා යනු ධ්‍යාන ඉපදවීමට උපකාරී වන කසිණ නිමිති, අසුභ නිමිති ආදිය පිළියෙල කිරීම ය, එය අරමුණු කොට භාවනා කිරීම ය, එයින් උපදවා ගත් උග්ගහ නිමිති, පටිභාග නිමිති ආරක්ෂාකර ගැනීම ය යන මෙහි පළපුරුද්ද හෝ දක්‍ෂතාව ඇති කර ගැනීම ය.

සමයේ චිත්තස්සපග්ගණ්හනතා යනු යම් කලෙක්හි ඉතා ලිහිල් වූ වීර්යය ආදිය නිසා සිත මැලි වූයේ හෝ හැකිලී ගියේ නම් එකල්හි ධම්මවිචය සම්බොජ්ඣංගය හා විරිය සම්බොජ්ඣංගය ද පීතිසම්බොජ්ඣංගය ද උපදවා ලීමෙන් ඒ සිතට රුකුල් දීම යි.

සමයේචිත්තස්සනිග්ගහණතා යනු යම් කලෙක්හි වැඩියක් ඇරඹූ වීර්යය ඇති බව යන ආදියෙන් සිත උදහස් වූයේ හෝ විසිර ගියේ වේ නම් එකල්හි පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය හා සමාධිසම්බොජ්ඣඞ්ගය ද උපෙක්ඛා සම්බොජ්ඣංගය ද උපදවා ගැනීමෙන් ඒ සිතට නිග්‍රහ කිරීම ය.

සමයේ සම්පහංසනතා යනු යම් කලෙක්හි සිත, ප්‍රඥාව හා යෙදීමේ අඩුකම නිසා හෝ සන්සුන් බව හා සුවය නො ලැබීම නිසා හෝ ඒ සිත ආස්වාද රහිත වෙයි නම්, එකල්හි සංවේග වස්තු අට ප්‍රත්‍යවේක්ෂ කිරීමෙන් සිත සංවේගයට පමුණුවා ගෙන රත්නත්‍රය පිළිබඳ ගුණ සිහි කිරීමෙන් සිත සතුටු කර ගැනීම ය.

එහි සංවේග වස්තු අට නම්:- ජාතිය, ජරාවය, මරණය, සතර අපාය දුකය, අතීත වූ සසර දුකය, අනාගත සසර දුකය, දැන් පවත්නා සසර දුකය, ආහාර සෙවීමේ දුකය, යන මේ කරුණු අට ය.

“ජාති ජරා ව්‍යාධි චුතී අපායා

අතීත අපත්තකවට්ටදුක්ඛං

ඉදානි ආහාර ගවෙට්ඨි දුක්ඛං

සංවේගවත්ථූනි ඉමානි අට්ඨ”

යනු සංවේගවස්තු අට ඇතුළත් ගාථාව යි.

සමයේ අජ්ඣුපෙක්ඛණතා යනු යම් කලෙක්හි සම්‍යක් ප්‍රතිපත්තිය කරුණු කොට ගෙන මැලි නො වූයේ හෝ සන්සුන් වූයේ ආස්වාද සහිත ව අරමුණෙහි සමව පැවති භාවනා චිත්තය සමථ මාර්ගයට පිළිපන්නේ වෙයි ද, එකල්හි යෝගාවචර තෙම චිත්තයට අනුබල දීමය නිග්‍රහ කිරීමය සිත සතුටු කර වීමය යන මේ කෘත්‍යයන්හි උත්සාහ නො කොට මධ්‍යස්ථ වන්නේ ය. සම වේගයෙන් ගමන් කරන අශ්වයන් කෙරෙහි සම ව, මධ්‍යස්ථ ව බලන රියැදුරකු මෙනි.

අසමාහිතපුද්ගලපරිවජ්ජනතා යනු උපචාර සමාධිය හෝ අර්පනා සමාධිය ලබා නොගත් සිත හික්මවා ගත නොහැකි - නොයෙක් බාහිර අරමුණෙහි දුවන සිත් ඇති පුද්ගලයන් දුරින් ම දුරු කිරීම ය.

සමාහිතපුද්ගලසේවනතා යනු උපචාර සමාධියෙන් හෝ අර්පණා සමාධියෙන් එකඟ වූ සිත් ඇති උතුමන් සේවනය - භජනය - පයිරු පාසනය කිරීම ය.

ඣානවිමොක්ඛපච්චවෙක්ඛණතා යනු ධ්‍යාන, මාර්ග, ඵල ධර්මයන් ප්‍රත්‍යවේක්ෂා කිරීම ය.

තදධිමුත්තතා යනු ඉඳීම්, සිටීම් ආදී ඉරියව් පවත් වන කල්හි සමාධිය ඉපද වීමට ම නැමුණු සිත් ඇති බව ය.

මෙසේ උපදනා සමාධිය අවසාන වශයෙන් භාවනාවෙන් වැඩි දියුණු වන්නේ රහත් මගින් ය යි යෝගාවචරයා දැන ගන්නේ ය.

උපෙක්ඛා සම්බොජ්ඣංගය

පාලි

“සන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස

සිය සතන්හි උපෙක්ඛා සම්බොජ්ඣංගය ඇති ව පවත්නා කල්හි යෝගී තෙම ඒ බව දැන ගන්නේ ය. උපෙක්ඛා සම්බොජ්ඣංගය සිය සතන්හි නැතහොත් ඒ බවත් දැන ගන්නේ ය. යම් යෝනිසෝමනසිකාරයක් කරණ කොට ගෙන නූපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය උපදී නම් ඒ යෝනිසෝමනසිකාර ද දැන ගන්නේ ය.

උපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම යම් ආර්යය මාර්ගයකින් සිදුවෙයි නම් ඒ අර්හත් මාර්ගය ත් දැන ගන්නේ ය.

කමටහන් අරමුණ මෙනෙහි කිරීමේ දී භාවනාව දියුණුවේගන යන විට මෙනෙහි කිරීමක් පාසා සිතේ සමව පැවැත්ම ප්‍රකට වන්නේ ය. එනම් තත්‍රමජ්ඣත්තතාව යි. එය ම උපෙක්ඛා සම්බොජ්ඣංග ය යි. මේ උපේක්ෂාව තමාට ද පහසුවෙන් වටහා ගත නො හැකිය. තේරෙන හැටියට අනුන්ට කියා දීම ත් අපහසු ය. එහෙත් උදයබ්බයඤාණය ආදී විදර්ශනාඥානයන් ලබාගත් යෝගාවචරයාහට නම් සිය සතන්හි ප්‍රකටව පහළ වන බැවින් උපෙක්ඛා සම්බොජ්ඣංගය පහසු වෙන් දත හැකි වෙයි.

මේ උපෙක්ඛාසම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාර වන කරුණු පසක් ඇත.

එනම්:-

1. සත්තමජ්ඣත්තතා,

2. සඞ්ඛාරමජ්ඣත්තතා,

3. සත්තසඞ්ඛාරකේලායන පුග්ගලපරිවජ්ජනතා,

4. සත්තසංඛාර මජ්ඣත්ත පුද්ගල සේවනතා,

5. තද්ධි මුත්තතා යනු යි.

එහි සත්තමජ්ඣත්තතා යනු සත්වයන් කෙරෙහි දී මැදහත් බව උපදවා ගැනීම ය. එය වනාහි කර්මය ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් හා සත්ත්වයෙක් නැති බව ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් ද යන දෙයාකාරයකින් උපදවා ගත යුතු ය. ඒ මෙසේ යි: තෝ තමාගේ කර්මයෙන් ම මෙලොවට අවුත් තමාගේ කර්මයෙන් ම පරලොව යන්නෙහි ය. මේ තැනැත්තා ද ඔහුගේ කර්මයෙන් අවුත් ඔහුගේ කර්මයෙන් ම යන්නේ ය. එසේ නම් තෝ කවරෙකුට ආසාව හෝ ආලය කරන්නෙහි ද? මෙසේ කය ස්වකීය වස්තුව කොට ඇති බව ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ද මැදහත් බව ඇතිවෙ යි. එසේ ම පරමාර්ථ වශයෙන් සත්වයෙක් ඇත්තේ ම නැත. එසේ නම් තෝ කවරෙකුට ආසාව හෝ ආලය කරන්නෙහි ද? මෙසේ සත්වයෙක් නැති බව ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ද මැදහත් වූ බව ඇති වෙයි.

සඞ්ඛාරමජ්ඣත්තතා යනු අවිඤ්ඤාණක සංස්කාරයන් කෙරෙහි මැදහත් බව උපදවා ගැනීම ය. එය ද සංස්කාර මධ්‍යස්ථභාවය හා තාවකාලික භාවය ප්‍රත්‍යවේක්‍ෂා කිරීම ද යන දෙයාකාරයෙන් ඇති විය හැකි ය. ඒ මෙසේ යි: මේ සිවුර හෝ වස්ත්‍රය පිළිවෙළින් වර්ණ විකාරයට ද ජීර්ණ භාවයට ද පැමිණ පාපිස්නා රෙදි කඩක් මෙන් අතින් ස්පර්ශ කරන්ට පවා පිළිකුල් බැවින් සැරයටි කොණින් ඉවත දැමිය යුත්තක් වන්නේ ය. ස්ථිර හිමියෙක් ඇත්නම් ඒ වස්ත්‍රයට එසේ විනාශවන්ට ඉඩ නො දෙන්නේ ය. මෙසේ අස්වාමික භාවය ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් ද මැදහත් බව උපදනේ ය. එසේ ම මේ සිවුර හෝ වස්ත්‍රය වැඩි කලක් නො පවතින්නේ ය. ටික කලක් ම පවතින්නේ ය යි තාවකාලික බව ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ද මැදහත් බව උපදනේ ය. සිවුරෙහි හෝ වස්ත්‍රයෙහි මෙන් ම අනික් පරිස්කාරයන් කෙරෙහි ද මැදහත් බව උපදවා ගැනීම සඞ්ඛාරමජ්ඣත්තතා නමි.

සත්තසඞ්ඛාරකේලායනපුග්ගලපරිවජ්ජනතා යනු, සත්වයන් හා සංස්කාරයන් කෙරෙහි මමායනය (ආලය) කරන පුද්ගලයන් දුරින් ම දුරු කිරීම ය. සත්ත

කේලායනය - සඞ්ඛාරකේලායන ය යි කේලායනය දෙ වැදෑරුම් වේ. සත්ත කේලායනය නම්:- “ගිහියා විසින් තමාගේ දු පුතුන් කෙරෙහි ආදරය හෝ ආලය කිරීම ය. පැවිද්දා විසින් තමාගේ අතවැසි ශිෂ්‍යයන් කෙරෙහි ආදරය හෝ ආලය කිරීම ය.” මොහොතකු දු තමාගේ දරුවා හෝ ශිෂ්‍යයා දකින්ට නො ලැබුන හොත් අසවල් දරුවා හෝ ශිෂ්‍යයා කොයිදැ යි තැති ගත් මුවෙකු

සේ ඔබමොබ සොයා බලයි. අනිකෙකු විසිනුත් තමාගේ දරුවා හෝ ශිෂ්‍යයා කටයුත්තකට යොදවා ගනු දුටු කල්හි එයට අසතුට ප්‍රකාශ කරයි නම් එය සත්තසඞ්ඛාරකේලායන ය යි. සඞ්ඛාරකේලායනය නම්, තමාගේ පා සිවුරු හෝ ඇඳුම් පැළඳුම් කෙරෙහි ආලය කිරීම ය. ඒවා අනුන්ට අල්ලන්නට වත් ඉඩ නො දෙයි නම් තාවකාලික ව පරිහරණයට ඉල්ලු වත් මේවා අපි වත් පරිහරණය නො කරන්නෙමු. යුෂ්මතුන්ට කෙසේ දෙන්නෙමු දැ යි පරිස්සම් කර තබයි නම් මෙය. සංඛාරකේලායන ය යි.

සත්තසංඛාරමජ්ඣත්තපුග්ගලසේවනතා යනු සත්වයන් හා සංස්කාරයන් කෙරෙහි මැදහත් උතුමන් ඇසුරු කිරීම ය.

තද්ධිමුත්තතා යනු ඉඳීම්, සිටීම් ආදී ඉරියව් පවත්වන හැම විටක දී ම උපෙක්ඛා සම්බොජ්ඣංගය උපදවා ගන්ට ඕනෑ ය යි එයට නැමුණු සිත් ඇති බව ය.

මෙසේ උපදවා ගන්නා ලද උපෙක්ඛාසම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම යම් ආර්යය මාර්ගයකින් සිදුවෙයි නම් ඒ අර්හත් මාර්ගය ද යෝගී පුද්ගලයා දැන ගන්නේ ය.

භාවනා සිත්හි සම ව පවත්නා තත්‍රමජ්ඣත්ත උපෙක්ඛාව උපදනා ආකාරය: නාම-රූපයගේ ඇතිවීම, නැතිවීම ප්‍රකට ව වැටහුණු කල්හි ඒ පිළිබඳ විශ්වාසය වූ ශ්‍රද්ධාව අධික වූ පුද්ගලයා ඒ විශ්වාසය අනුව නැවත නැවතත් කල්පනාවට වැටෙන්නේ ය. කෙසේ ද යත්? “නාම-රූප දෙක පමණක් ඇත්තේ ය. පුද්ගලයෙක්-සත්වයෙක් නැතැ යි” යනු සැබෑවකි, “ඇසි පිය හෙළීමක් ඇතුළත ස්ථිර ව පවත්නා දෙයක් ද නැත, ඇති වූ වහා ම බිඳී යන ස්වභාවයක් ම ඇත්තේය”, යන කියමන ඇත්තක් ම ය. “නාම -රූපයන් ගේ නිත්‍ය නො වන බව -එය දුකක් ම වන බව- එහි ආත්මයක් නැති බව ඇත්තකි. සියල්ල දත් බුදුරජාණන් වහන්සේන්ගේ වචනය ඇත්තකි.” මේ ආදී වශයෙන් පවත්නා කෙළවරක් නැති ශ්‍රද්ධාව නිසා කල්පනාවට බැස ගන්නේ ය. එකල්හි ඒ කල්පනාවේ ඇතිවීම හා නැතිවීම ද මෙනෙහි නො කළ හැකි වෙයි. එයින් අන්‍ය වූ නාම-රූපයන්ගේ ඇතිවීම හා නැතිවීම ද මෙනෙහි නො කළ හැකි වෙ යි. මෙනෙහි කිරීමක් පාසා ශ්‍රද්ධාව අධික වන බැවින් ද මෙනෙහි කරන තාක් ස්වභාව ධර්මයන් ද ප්‍රකට කොට නො දත හැකි වෙයි. මෙය වනාහි ශ්‍රද්ධාව අධිකවීම නිසා ඇති වන දෝසය යි.

ප්‍රඥාව අධික වූ තැනැත්තා ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා කල්පනාවට වැටෙන්නේ ය. මෙනෙහි කරන අතර තුර මෙය රූපයක් දෝ නාමයක් ඵස්සයක් දෝ වේදනාවක් දෝ හෝ යන ආදී වශයෙන් ද, හොඳින් වැටහේ දෝ නො වැටහේ දෝ ලක්ෂණය වැටහේ දෝ රසය වැටහේ දෝ යන ආදී වශයෙන් ද, උත්පාදය වැටහේ දෝ භඞ්ගය වැටහේ දෝ අනිත්‍ය ලක්ෂණය වැටහේ දෝ යන ආදී වශයෙන් කල්පනාවට වැටෙන්නේය. මෙනෙහි කොට පැහැදිලිව දැන ගැනීමක් පාසා දැන උගත් කරුණු වශයෙන් ද කල්පනා කරන ආකාරයෙන් තමා කැමති උපමාවගේ වශයෙන් ද නිතර නිතර සසඳා බලන්නේ ය. එකල්හි මෙනෙහි කරන සිත්හි ඇති වීම හා නැතිවීම ද හොඳින් නො වැටහෙන්නේ ය. එයින් අන්‍ය වූ නාම රූපයන්ගේ ඇතිවීම හා නැතිවී ත් හරිහැටි නො දත හැකි ය. මෙනෙහි කිරීමේ දී වුවමනා ප්‍රඥාව අධික ව පවත්නා නිසා මෙනෙහි කළ තරමට ද සම්පූර්ණයෙන් ප්‍රකට කොට නො දත හැකි ය. මෙය වනාහි ප්‍රඥාව අධික වූ බැවින් මෙනෙහි කොට දැන ගැනීම සිඳී යන ආකාරය යි. ඒ සමව පවත්නා උපේක්ෂාවගේ වශයෙන් ශ්‍රද්ධා-ප්‍රඥාවන් සම වූ කල්හි ශ්‍රද්ධාව ද අධික නො වේ. සලකා බලන ප්‍රඥාව ද අධික නො වේ. උපදනා උපදනා වාරයක් පාසා සලකා දැනීම ම සිදු වෙයි. ශ්‍රද්ධාව නිසා නැවත නැවතත් කල්පනාවට නො වැටෙයි. දැන ගන්නා ලද්ද අනුව ද නැවත නැවත කල්පනා නො කරයි. එහෙයින් උපදනා තාක් නාම-රූප ධර්මයන් පිළිවෙළින් හොඳින් දැනගත හැකි වෙයි.

වීර්යය අධික වූ කල්හි නිතර මෙනෙහි කළයුතු අරමුණ සොයමින් බලාපොරොත්තුවෙමින් සිටි. අරමුණ මෙනෙහි වූවා දෝ මෙනෙහි නො වී ගියා දෝ හෝ යි ක්ෂණයක් ක්ෂණයක් පාසා ආපසු සලකා බලයි. අරමුණ අමතක වී ගියේ කොතැනක දී දැ යි ක්ෂණයෙක් ක්ෂණයෙක්හි එය සලකා බල යි. මෙකල්හි වැඩියක් හොඳින් මෙනෙහි කරන්නෙමැ යි ද ක්ෂණයක් ක්ෂණයක් පාසා කල්පනා කර යි. මෙසේ උත්සාහය අධික වන බැවින් චිත්තය හොඳින් එකඟ නො වේ. එවිට සිත චඤ්චලවෙමින් පවතින්නේ ය. එහෙයින් උපදින තාක් නාම රූපයන් අත් නො හැරෙන සේ මෙනෙහි නො කළ හැකි ය. මෙනෙහි කිරීමේ දී වීර්යය අධික වන බැවින් සමාධිය දුර්වල වෙයි. සලකා බලා දත යුතු දැය ද ප්‍රකට කොට සම්පූර්ණයෙන් නො දත හැකි ය. මෙය වනාහි වීර්යය අධික වීමෙන් භාවනාව දුර්වල වන ආකාර ය යි.

සමාධිය අධික වූ කල්හි ද එක අරමුණක් ම බොහෝ කාලවේලාවක් මුළුල්ලෙහි මෙනෙහි කරමින් සිටිය හැකි ය. එවිට වෙන අරමුණු නො වැටහෙන බැවින් ඒ අලුත් අරමුණු මෙනෙහි කිරීමේ උත්සාහයක් ඇතිනො වන්නේ ය. මෙසේ උත්සහ රහිත ව මෙනෙහි කිරීම ම පසුබස්නා ස්වභාවයෙන් යුක්ත වන බැවින් වීර්යයය අඩුවෙමින් පවත්නේ ය. හොඳින් පාඩම් කරගත් ගාථා, පිරිත්, ඉතිපිසෝ පාඨ ආදිය කියන විට උත්සාහයක් නැති ව ඉබේ ම වාගේ කියවෙන්නාක් මෙනි. එහෙයින් අරමුණ හා මනස්කාරය ටිකින් ටික දුර්වල වී ගොස් ථිනමිද්ධයට පෙරලිය හැකි වන්නේ ය. එවිට උපදනා තාක් නාම රූපයන් වුවමනා පරිදි මෙනෙහි නො කළ හැකි ය. විර්යය අඩු කොට මෙනෙහි කරන අතර අලසකම ඇතිවන බැවින් මෙනෙහි කරනු ලබන අරමුණ ද ප්‍රකට කොට නො දත හැකි ය. මේ කියන ලද්දේ සමාධිය අධික වීමෙන් භාවනාව දුර්වල වන ආකාර ය යි.

සමව පවත්වන උපේක්ෂාව ගේ වශයෙන් වීර්යයය හා සමාධිය සම සම ව පවත්නා කල්හි උත්සාහය ද අධික නො වේ. විශේෂ උත්සාහයක් නො මැති ව ම උපදනා තාක් නාම-රූපයන් ද ප්‍රකට ව වටහා ගත හැකි වන්නේ ය. වැටහී එන අරමුණු නිසා සිත චඤ්චල නො වෙයි. වැටහී එන තාක් නාම-රූප ධර්ම ඉබේට ම වාගේ සලකා බැලිය හැකිවෙ යි. දැනගන්නා හැම අරමුණක් ම සිතට කා වැදී තැන්පත් වන බව ද ප්‍රකට වෙයි. එවිට යෝගී පුද්ගල තෙමේ “මෙනෙහි නොකොට අත හැරුණු අරමුණක් නැතැ යි ද සියලු ම අරමුණු මෙනෙහි කෙළෙමි” ය යි ද දැන ගන්නේ ය.

ඉහත කී නයින් සද්ධා, පඤ්ඤා, විරිය, සමාධි යන මේ ආදිය සම සම ව පවත්වා ගත හැකි වීම උපෙක්ඛා සම්බොජ්ඣංගය යි. මේ උපෙක්ඛාසම්බොජ්ඣංගය දියුණු තියුණු වූ කල්හි උපදනා සති ආදියගේ සම තත්වය ප්‍රකට ව දත හැකි වන්නේ ය. ඉබේට ම වාගේ මෙනෙහි කිරීම සිදු වන්නේ ය. එහෙයින් වැටහෙන අරමුණෙහි සිත තැන්පත් වන්නේ ය.

මෙනෙහි වෙමින් පවත්නා අරමුණ නාමයක් දෝ! රූපයක් දෝ, උපදිමින් නැසෙමින් පවත්නා අනිත්‍ය දී ස්වභාව ධර්මයක් දෝ! හෝ! යි විශේෂයෙන් කල්පනා නො කොට ම මෙනෙහි කිරීම් මාත්‍රයෙන් ම පැහැදිලිව ප්‍රකට වන්නේ ය. ඒ ප්‍රකට වූ අරමුණ ගැන කල්පනා නො කොට මෙනෙහි කිරීම සමව පවත්නා කල්හි උත්සාහයේ ප්‍රමාණය අඩු හෝ වැඩි නො කළ යුතු ය. වැඩියෙන් උත්සාහ කළහොත් වීර්යය අධික වීම,

නිසා ද උත්සාහය අඩු වුවහොත් වීර්යය අඩු වීම නිසා ද භාවනාව මස්තකප්‍රාප්ත නො වේ. එහෙයින් මුල දී මෙනෙහි කළ පරිදි ම නො කඩවා මෙනෙහි කළ යුතු ය. අරමුණේ ස්වභාවය දැන ගනිමින් පවත්නා මේ විපස්සනා චිත්තය පටිවිපස්සනාවගේ වශයෙන් ඇති වෙමින් පවත්නා සති - ධම්මවිචය - විරිය ආදී බොජ්ඣංග සත ඇති සැටියෙන් දැන ගන්නේ ය.

“සන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣංගෝති පජානාති” යන ආදිය වදාළේ ඒ සඳහා ය.

මේ බොජ්ඣඞ්ග ධර්මයන් ප්‍රකට ව හොඳින් මෙනෙහි කර ගෙන යන විට වීර්යය අධික වීම් ආදිය නිසා භාවනාව නො මග ගිය විට හෝ මෙනෙහි කිරීමෙන් තොර ව අත පය පැකිලීම් දිගහැරීම් ආදිය සිදු කරන විට හෝ “අමතක වේ” “එය හොඳ නැහැ” යන ආදී වශයෙන් මෙනෙහි කොට බොජ්ඣංග ධර්මයන් තමා තුළ නැති බව ද දැන ගන්නේ ය.

“අසන්තං වා අජ්ඣත්තං සති සම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣංගෝති පජානාති” යනු වදාළේ ඒ සඳහා ය.

මේ බෝධ්‍යඞ්ග ධර්මයෝ සති ධම් විචය ආදිය උපදවා ගන්ට ඕනෑ ය යි කල්පනා කිරීම ය, සිතේ ශ්‍රද්ධා ප්‍රසාදය උපදවන බුදු ගුණ ආදී අරමුණු මෙනෙහි කිරීම ය යන මේ යෝනිසෝමනසිකාරය නිසා ප්‍රකටව උපදනාහු ය. “මේ බෝධ්‍යඞ්ග ධර්ම පහළ වූයේ කෙසේ මෙනෙහි කිරීමෙන්ද” යි එයට උපකාර වූ යෝනිසෝමනසිකාරයත් යෝගී පුද්ගලයා දැන ගන්නේය.

“යථා ච අනුප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදෝ හෝති තඤ්ච පජානාති” යන ආදිය වදාළේ ඒ සඳහා ය.

“යථා ව උප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පරිපූරි හෝති තඤ්ච පජානාති” යන ආදී වශයෙන් දැන ගැනීම වනාහි මේ බෝධ්‍යාඞ්ග ධර්ම වැඩීම අර්හත් මාර්ගයෙන් සම්පූර්ණ වන්නේ ය යි කියන ලද්දේ රහත් වූවාට පසු භාගයේ දී ම ප්‍රත්‍යවේක්ෂඥානයන් පහළ වීමෙන් සම්පූර්ණ වන බව ප්‍රකාශ කිරීමට ය.

“ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති.

අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු.

බොජ්ඣඞ්ගපබ්බං නිට්ඨිතං.

මෙසේ තමා තුළ පවත්නා බෝධ්‍යාඞ්ගධර්මයන් කෙරෙහි ද ස්වභාව ධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කර යි. අනුන් තුළ පවත්නා බෝධ්‍යඞ්ග ධර්මයන් කෙරෙහි ද ස්වභාව ධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කර යි. ඇතැම් විට තමා තුළ පවත්නා බෝධ්‍යඞ්ග ධර්මයන් කෙරෙහි ද ඇතැම් විට අනුන් තුළ පවත්නා බෝධ්‍යඞ්ග ධර්මයන් කෙරෙහි ද ස්වභාව ධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කර යි.

බෝධ්‍යඞ්ග ධර්මයන් කෙරෙහි උපදවන ප්‍රත්‍යය හා ඉපදීම අනුව බලමින් වාසය කර යි. බෝධ්‍යාඞ්ග ධර්මයන් නැතිව යාමේ ප්‍රත්‍යය හා නැති වීම අනු ව බලමින් වාසය කරයි. බෝධ්‍යාඞ්ග ධර්මයන් කෙරෙහි උපදවන ප්‍රත්‍යය හා ඉපදීම ද නැතිව යාමේ ප්‍රත්‍යය හා නැති වීම ද අනුව බලමින් වාසය කර යි.

සත්ව පුද්ගල නො වන ස්වභාව ධර්මයෝ ම විද්‍යා මානව ඇතැයි ඒ යෝගී පුද්ගලයා හට සිහිය එළඹ සිටියා වෙ යි. ඒ සිහිය පිළිවෙළින් ඥාණය වැඩි දියුණු වීම පිණිස ම වෙයි. නැවතත් පිළිවෙළින් සිහිය වැඩි දියුණු වීම පිණිස ද වෙයි.

වැඩි දියුණු වූ සිහිය හා ඥාණය ඇති ඒ යෝගී පුද්ගල තෙම තණ්හා දිටඨි දෙක ඇසුරු නො කොට වාසය කරයි. එහෙයින් උපාදානස්කන්ධය නමැතිලෝකයෙහි රූප වේදනා ආදී කිසිත් ස්කන්ධයක් මම ය මාගේ ය යි තණ්හා දිට්ඨි දෙකින් තදින් නො ගනී. මහණෙනි! යෝගී තෙම මෙසේ කියන ලද නයින් බෝධ්‍ය ධර්මයන් කෙරෙහි පවත්නා සත්ව පුද්ගල නො වන ස්වභාව ධර්මය අනුව බලමින් වාසය කර යි.

බොජ්ඣංගපබ්බය නිමි.

ධම්මානුපස්සනාවේ (5) සච්ච පබ්බය

උද්දේසය

පාලි

පුන ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානු පස්සී විහරති චතුසු අරියසච්චෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති චතුසු අරියසච්චේසු? ඉධ භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. අයං දුක්ඛ සමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛ නිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති.

කෙටි අදහස

මහණෙනි! නැවත ද අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ. භාවනානු යෝගී පුද්ගල තෙම සිවු වැදෑරුම් ආර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි සත්ව පුද්ගල නො වන ස්වභාව ධර්මය අනුව බලමින් වාසය කරයි. යෝගී පුද්ගල තෙම ස්වභාව ධර්මය අනුව බලමින් කෙසේ වාසය කරයි ද? මහණෙනි! මේ බුදු සසුනෙහි විදර්ශනා වඩන යෝගී පුද්ගල තෙම ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදිමින් - බිඳෙමින් පවත්නා මේ නාම රූප කය දුකක් ය යි ඇති සැටියෙන් දැනගන්නේ ය. දුකෙහි සිත අලවන මේ තණ්හාව දුක ඉපද වීමේ හේතුව ය යි ඇති සැටියෙන් දැන ගන්නේ ය. ඉපදීමක් බිඳීමක් නොමැති මේ නිර්වාණය සියලු දුක් නැතිව යන තැන ය යි ඇති සැටියෙන් දැනගන්නේ ය. විශේෂ අවබෝධයෙන් යුත් මේ මාර්ගාඞ්ග සමූහය දුක් නැති නිවනට පමුණුවන ප්‍රතිපදාව ය යි ඇති සැටියෙන් දැන ගන්නේ ය.

දුක්ඛ සත්‍යය යනු ලෞකික සිත් 81 ය, එහි යෙදෙන (ලෝභය හැර) චෛතසික එක් පණසය, රූප විසි අටය යන මේ ධර්ම සමූහය යි. මෙය ඇත්ත වශයෙන් ම දුක් රැසක් වූ බැවින් ද දුක්ඛ සච්ච නම් වේ. මෙය දුකක් ය යි හරිහැටි අවබෝධ කරගන්නේ පෘථග්ජනයා නො ව ආර්ය පුද්ගලයා ය. එහෙයින් මෙයට දුක්ඛ අරියසච්ච ය යි කියන ලදී.

සමුදය සත්‍යය යනු තණ්හාව ය, එනම්, ලෝහ චෛතසික ය යි. ඇත්ත වශයෙන් හැම දුකක් ම උපදවන්නී මේ තණ්හාව ය, එහෙයින් එය දුක්ඛ සමුදය සච්ච නම් වන්නී ය. මෙය ද හරි හැටි අවබෝධ කර ගන්නේ පෘථග්ජනයා නො ව ආර්ය පුද්ගලයා ය. එහෙයින් එයට දුක්ඛ සමුදය අරිය සච්ච ය යි කියනලදී.

නිරෝධ සත්‍යය යනු තණ්හාව සමග දුක් නිරුද්ධ වන දුක් නැති - දුක් සංසිඳු වන තැන ය. එනම් නිවන යි. ඇත්ත වශයෙන් දුක් නැති තැන එතැන ය. එහෙයින් එය දුක්ඛ නිරෝධ සච්ච නමි. එය හරි හැටි අවබෝධ කර ගන්නේ පෘථග්ජනයා නො ව ආර්යය පුද්ගලයා ය. එහෙයින් එය දුක්ඛ නිරෝධ අරිය සච්චය යි කියන ලදී.

මාර්ග සත්‍යය යනු දුක් නැති නිවනට යන මාර්ගය යි. එය ම දුක් නැති කිරීමේ ඒකාන්ත සත්‍ය වූ ප්‍රතිපදාව යි. ආර්යය පුද්ගලයා විසින් දුක පිරිසිඳ දැන ගනිමින් තණ්හාව දුරු කරමින් නිවන දකිමින් පිළිපැදිය යුතු මාර්ගය වූ බැවින් එයට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරියසච්ච ය යි කියන ලදී.

දුඃඛ සත්‍යය

(සච්ච නිද්දේසය ධම්මානුපස්සනාවේ)

පාලි

කතමඤ්ච භික්ඛවේ දුක්ඛං අරියසච්චං? ජාති පි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොක පරිදේව දුක්ඛදොමනස්සුපායාසා පි දුක්ඛා, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛා, යං පිච්ඡං න ලභති තං පි දුක්ඛං, සඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.

කෙටි අදහස

මහණෙනි! ආර්ය පුද්ගලයා විසින් අවබෝධ කළ යුතු - අවබෝධ කරන ලද ඒකාන්ත සත්‍ය වූ දුක කවරේ ද? ඉපදීමත් දුකකි. ජරාව හෙවත් දිරායාම ද දුකකි. මරණය ද දුකකි. සෝකය, ඇඬීම්ය, කයේ උපදින දුකය, සිතේ උපදින දුකය, සිත වෙහෙසීම ය. යන මොහු ද දුක් ය. අප්‍රියයන් හා එක්වීම ද දුකකි. ප්‍රියයන් කෙරෙන් වෙන්වීම ද දුකකි. තමා කැමැති දෙය නො ලැබේ නම් එයද දුකකි. සංක්ෂේපයෙන් කොටින් ම උපාදානස්කන්ධයෝ පස් දෙන ම දුක් වන්නෝ ය.

එහි විස්තරය:

හැම භවයකට ම සම්බන්ධ ව පවත්නා ජාති, ජරා, මරණ යන මෙය කාය චිත්ත දෙකට නානා ප්‍රකාර දුක් උපදවන මූලික කරුණු වූ බැවින් එකාන්ත දුක්ඛ සත්‍යය නම් වේ. එහෙයින් “ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා මරණම්පි දුක්ඛං” යි වදාළ සේක.

දුක්ඛ දුක්ඛය, විපරිනාම දුක්ඛය, සඞ්ඛාර දුක්ඛ ය, පටිච්ඡන්න දුක්ඛ ය, අපටිච්ඡන්න දුක්ඛ ය, පරියාය දුක්ඛ ය, නිප්පරියාය දුක්ඛ ය යි දුක්ඛය සත් වැදෑරුම් වේ. එහි දුක්ඛ දුක්ඛය නම් කයේ හට ගන්නා නන් වැදෑරුම් රිදුම්, කැක්කුම් හා සිතේ හට ගන්නා නන් වැදෑරුම් රිදුම් - කැක්කුම් සියල්ල ය. මෙය නිත්‍ය නො වන බැවින් ද ඉවසීමට ඉතා දුෂ්කර බැවින් ද බලවත් දුකකි.

විපරිනාම දුක්ඛය නම්, හොඳයි, සැපයි යන ආදී වශයෙන් ව්‍යවහාර කරනු ලබන - කයේ හා සිතේ හට ගන්නා නන් වැදෑරුම් මිහිරි සැප වේදනා ය.මේ සැප වේදනාව ඇතිව පවත්නා කල්හි ම සතුටු වී එය නිරුද්ධ ව අතුරු දහන් වූ කල්හි උන්හිටි තැන් අමතක වන තරමේ දුකට, වෙහෙසට පත් කරවන ස්වභාව ධර්මයකි. මෙය ද දුර්වල සුඛයක් වුවහොත් එය නිරුද්ධ ව ගිය කල්හි ඇති වන්නේ සුළු දුකකි. පහත් තැනකින් බිම වැටුණු කල්හි ඇතිවන දුක් වේදනාව අප්‍රකට වන්නාක් මෙනි. බලවත් සුඛය ඇති ව නැති වූ කල්හි ඒ තැනැත්තා බලවත් දුකට - වෙහෙසට පමුණුව යි. ඉතා උස් තැනකින් බිම වැටුණු කල්හි අත පය කැඩී බිඳී යාමෙන් බලවත් ඉවසිය නො හැකි දුකක් ඇති වන්නාක් මෙනි. එසේ ම සැප වේදනා සියල්ල ඇති ව නැති වී යාමෙන් පසු ඒ තැනැත්තා බලවත් දුකට පමුණුව යි. සැපය බලවත් වුවහොත් එය නිරුද්ධ වූ කල් හි උපදනා දුක ද ඒ තරමට ම බලවත් වෙයි. ප්‍රිය පුද්ගලයන් කෙරෙන් ප්‍රිය වස්තූන් කෙරෙන් වෙන් වූ කල්හි තමාගේ ඉඳීම් සීටීම් ආදී ඉරියවු සියල්ල දුක් සහිත වෙයි. මෙකී දුක් සියල්ල ඇති වූයේ ප්‍රිය පුද්ගලයන් සහ ප්‍රිය වස්තූන් හා එක් වීමෙන් ඇති වූ සැප ආස්වාදය නිසා ය.

එහෙයින් සුඛ වේදනාව නන් වැදෑරුම් ප්‍රිය අරමුණු මවා පාමින් සිත් වසඟ කරවන - සිත් උමතු කරවන යක්ෂණියක් මෙනි. ඇත්ත වශයෙන් ම සුඛ වේදනාව ඒ යක්ෂණියටත් වඩා ඉතා භයානක වෙයි. එයට වසඟ වූ තැනැත්තා අප්‍රමාණ වූ සසර දුකට හා අපාය දුකට භාජන වන බැවිනි. එහෙයින් සුබ වේදනාව විපරිණාම දුක්ඛ ය යි කියන ලදී.

සංඛාර දුක්ඛ නම්, තණ්හාව හැර ඇතිව නැති වන උපේක්ෂ වේදනාව ඇතුළු සියලු නාම රූප ධර්ම නිත්‍ය නො වන බැවින් සංඛාර දුක්ඛ ය යි. මෙය දුක්ඛ සත්‍යයෙහි ඇතුළත් සියළු ස්වභාව ධර්මයන් කෙරෙහි පැතිර පවතින්නේ ය. සුඛ දුක්ඛ වේදනා දෙක ද සංඛාර දුක්ඛයෙහි ම ඇතුළත් වෙයි.

එහෙයින්:

“තං ඛො පනෙතං භික්ඛු මයා සංඛාරානං නෙව අනිච්චතං සන්ධාය භාසිතං. යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති” (සළායතන වග්ග වෙදනා සංයුත්ත)

මහණ! යම්කිසි විඳීමක් වෙයි නම් එය දුකය යන යම් වචනයක් මා විසින් කියන ලද්දේ නම් එය සංඛාරයන්ගේ අනිත්‍යතාවය සඳහා කියන ලදී යනු එහි අදහස යි.

එහෙත් සුඛ වේදනාව සාමාන්‍ය සංඛාර දුක්ඛයට වඩා විශේෂ වෙයි. එය නිරුද්ධ වූ කල්හි ප්‍රකෘති ස්වභාවය වෙනස් ව ගොස් දුකට පෙරළෙන බැවිනි. ඇත්ත වශයෙන් එය භය ජනක වෙයි. පිළිකුල් කටයුතු ද වෙයි. දුක්ඛ වේදනාව ද ඉපිද පවත්නා කල්හි ඉවසීමට දුෂ්කර වෙයි. එය නින්දිත දුකක් ම වෙයි. එහෙයින් ඒ වේදනා දෙක සංඛාර දුක්ඛය කෙරෙන් වෙන් කොට විපරිනාම දුක්ඛ ය යි ද දුක්ඛ දුක්ඛ ය යි ද අටුවායෙහි කීහ. කය තුළ ද එයින් පිටත ද පවත්නා හැම දෙයක් ගැන ම ආසා කිරීම වනාහි නාම රූප සංස්කාරයන් නිත්‍ය ය යි වරදවා වටහා ගන්නා නිසා ම සිදුවෙයි. මේ සියල්ල ඇති වෙමින් නැති වෙමින් පවතින්නේ ය යි ද, සුවපත්වනු සඳහා නිතර සකස් කළ යුතු ඒවා යයි ද, ඇති සැටි යෙන් දැනගතහොත් භය ජනක ඒවා මිස නිතර පවත්නා - සැප ඇති ඒවා ය යි නො වැටහෙන්නේ ය. එහෙයින් විදර්ශනා වඩන යෝගාවචරයා විසින් දුක්ඛ සත්‍යයෙහි ඇතුළත් මේ සංඛාර දුක්ඛය පිරිසිඳ දත යුතු ය.

පටිච්ඡන්න දුක්ඛය:- ඉසේ කැක්කුමය, කන් කැක්කුමය, දත් කැක්කුමය, යන මේ ආදී කායික දුක්ඛය ද, රාගය නිසා සිත උණුසුම් වීමය, ක්‍රෝධය නිසා සිත උණුසුම් වීමය, සිත නරක් වීමය, සිත අසතුටු වීමය යන මේ ආදී චේතසික දුක්ඛය දැයි, මෙසේ කාය චිත්ත දෙක්හි ඇතිවන දුක් හැම එකක් ම විඳින තැනැත්තා විසින් අනුන්ට නො කිවහොත් දැන ගතනො හැකිව සැඟවී පවත්නා බැවින් පටිච්ඡන්න දුක්ඛ නම් වේ.

අප්පටිච්ඡන්න දුක්ඛය: දඬු මුගුරු අවි ආයුධ ආදියෙන් තුවාල වීමෙන් ඇති වන දුක නො සැඟවී ප්‍රකට ව පවත්නා බැවින් අපටිච්ඡන්න දුක්ඛ නම් වේ.

නිප්පරියාය දුක්ඛය:- දුක්ඛවේදනාව නිප්පරියාය දුක්ඛ නමි. එය ම ඒකාන්ත මුඛ්‍ය (ප්‍රධාන) දුක්ඛය වන බැවිනි.

පරියාය දුක්ඛය:- දුක්ඛ වේදනාවෙන් අන්‍ය වූ ජාති දුක්ඛ ආදිය පරියාය දුක්ඛ නම් වේ. ප්‍රකෘතියෙන් ම ඉවසිය නො හැකි ස්වභාවයක් නැත්තේ වී නමුත් එය නොයෙක් කාය චිත්ත දුක්ඛ පීඩාවලට මුල් වන බැවින් පරියාය (අප්‍රධාන) වශයෙන් දුක් ය යි කියනු ලැබේ. සත් වැදෑරුම් දුක්ඛයන් අතුරෙන් පරියාය දුක්ඛය වන බැවින් ජාති ජරා මරණයෝ දුක්ඛ සත්‍යය නම් වෙති.

එහි ජාතිය රූප ජාතිය අරූප ජාතිය ය යි දෙවැදෑරුම් වේ. අටළොස් නිෂ්පන්න රූපයන්ගේ හට ගැනීම රූපජාති ය යි. සතර නාම ස්කන්ධයන්ගේ හටගැන්ම නාම ජාති යයි.

ජරාව ද, නාම ජරාය රූප ජරා ය යි දෙ වැදෑරුම් වේ. අටළොස් නිෂ්පන්න රූපයන්ගේ කුඩා ක්ෂණ එකුන් පණසින් (49) පිරිසිඳිනා ලද කාලය රූපජරාව යි. සතර නාම ස්කන්ධයගේ එක ම ඨිති කාලය නාම ජරාව යි.

මරණය ද, රූප මරණය නාම මරණ යයි දෙවැදෑරුම් වේ. අටළොස් නිෂ්පන්න රූපයගේ භඞ්ගක්ෂණය හෙවත් බිඳී යෑම රූපමරණය යි. සතර නාමස්කන්ධයගේ භඞ්ගක්ෂණය හෙවත් බිඳීයෑම නාම මරණ යයි.

මෙකී ජාති, ජරා, මරණ තුණ රූපස්කන්ධයෙහි ඇතුළත් වෙයි. සෝක නම් ඥාති විපත්තිය රෝගවිපත්තිය භෝගවිපත්තිය සීලවිපත්තිය දිට්ඨි විපත්තිය යන මේ පඤචවිධ විපත්තීන් අතුරෙන් යම්කිසි විපතක් නිසා ද්වේෂ මූල දෙසිතෙහි හටගන්නා දොම්නස් වේදනාව ය.

පරිදේව නම් ඥාති විපත්ති ආදී විපතක් හටගත් විට බලවත් සෝක නමැති චිත්ත විපල්ලාසයෙන් හටගන්නා හැඬීම් වැලපීම් නමැති චිත්තජ රූප කලාප ය යි. දුක්ඛ නම් දුක්ඛ සහගත කාය විඤ්ඤාණයෙහි යෙදුණු වේදනා චෛතසික ය යි. දෝමනස්ස නම් දෝස මූල දෙසිතෙහි යෙදුණු වේදනා චෛතසික ය යි. උපායාස නම්, යම්කිසි විපතකින් සිත වෙහෙස කරවමින් දෝස මූල දෙසිතෙහි හටගන්නා ද්වේෂ චෛතසික ය යි.

මොවුන් අතුරෙන් සෝක, දුක්ඛ, දෝමනස්ස තුණ දුක්ඛ දුක්ඛයෙහි ඇතුළත් ව නැවත නැවතත් කාය චිත්ත දෙකට පීඩා කරන බැවින් දුක්ඛ සත්‍ය නම් වේ. පරිදේව උපායාස දෙක වනාහි කාය චිත්ත දෙකට දුක හා වෙහෙස ගෙන දෙමින් පරියාය වශයෙන් දුක්ඛ සත්‍යය යෙහි ඇතුළත් වේ.

අප්‍රිය පුද්ගල - අප්‍රිය අරමුණු හා එක්වීම ය, ප්‍රිය පුද්ගලයන් කෙරෙන් හා ප්‍රිය අරමුණු කෙරෙන් වෙන් වීම ය, තමාට වුවමනා දෙය නො ලැබීමය යන මේ කරුණු තුණ ද නන්වැදෑරුම් කාය චිත්ත පීඩාවන්ට මුන බැවින් දුක්ඛ සත්‍යයෙහි ම ඇතුළත් වේ.

රූප ශබ්ද ආදී අරමුණු දැකීම් ඇසීම් ආදිය කරමින් සිටින කල්හි එය කමටහන් වශයෙන් මෙනෙහි නොකරන තැනැත්තා ඒ ඒ මොහොතේ දී ප්‍රකට ව පවත්නා රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් හා දිට්ඨින්ගේ වශයෙන් මම ය මාගේ ය යි තදින් ගන්නේ ය. මේ කරුණ භද්දේකරත්ත සූත්‍රයෙහි පැහැදිලි ව වදාරා තිබේ. රූප වේදනා ආදී ස්කන්ධ පඤ්චකයට උපාදානස්කන්ධ ය යි කියනු ලබන්නේ එය තණ්හා දිට්ඨි දෙකින් අල්ලා ගනු ලබන බැවිනි. මෙසේ උපාදානස්කන්ධ පඤ්චකය ඇති වූ කල්හි ජාති ජරා ආදී දුක් එකොළස පහළ වන්නේ ය. උපාදානස්කන්ධයන් නැති කල්හි ජාත්‍යදී දුක් ඇති නො විය හැකි ය. ඒ නිසා සැකෙවින් කියත හොත් දැකීම් ඇසීම් ආදියෙහි දී ප්‍රකට ව පවත්නා උපාදාන ස්කන්ධ පඤ්චකය දුක්ඛ සත්‍ය ය යි.

එය ඇති ව නැති ව යන අනිත්‍ය ස්වභාවය ඇති සඞ්ඛාර දුක්ඛයක් වූ බැවින් ද, ජාති ජරා ආදී නන් වැදෑරුම් දුක්වලට ස්ථානය වන බැවින් ද, එය ඒකාන්ත දුකකි, භයානක දුකකි. එහෙයින් එය සඳහා “සංබිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” යනුවෙන් වදාළසේක.

සංඛිත්තේන, සැකෙවින්; පඤ්චුපාදානක්ඛන්ධා, තණ්හා දිට්ඨි දෙකින් මම ය මාගේ ය යි ගන්නා ලද රූප වේදනා ආදී පස් වැදෑරුම් උපාදානස්කන්ධයෝ දුක්ඛා, දුක් වන්නෝ ය.

සමුදය සත්‍යය.

පාලි

කතමඤ්ච භික්ඛවේ දුක්ඛසමුදයං අරියසච්චං? යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.

කෙටි අදහස

මහණෙනි! දුක්ඛ සමුදය ආර්යය සත්‍යය කවරේ ද? යම් මේ තෘෂ්ණාවක් තොමෝ නැවත නැවත අලුත් භවයක් උපදවයි නම්, ඇලීම වූ නන්දි රාගය හා එක්ව පවතී නම්, තමාට හමුවන තාක් ඒ ඒ ආත්ම භාවයන් කෙරෙහි රූප ශබ්ද ආදී ඒ ඒ ආරම්මණයන් කෙරෙහි තද ආසාව හෝ ඇල්ම ඇති කරයි නම් ඒ තෘෂ්ණාව කවරී ද?

රැහැනකින් බඳින්නාක් මෙන් පඤ්ච කාමයෙහි බැඳ තබන කාමතණ්හාව ද, භවයෙහි ආසා කරන භවතණ්හාව ද භවය සිඳී යෑමෙහි ආසා කරන විභවතණ්හාව ද යන මේ තණහා තුණ ය.

එහි විස්තරය:

“කාමෙ තණ්හා කාමතණ්හා, පඤ්චකාමගුණිකරාගස්සෙතං නාමං. භවෙ තණ්හා භවතණ්හා, භවපත්ථනාවසෙන උප්පන්නස්ස සස්සතදිට්ඨිසහගතස්ස රූපාරූපභවරාගස්ස ච ඣානනිකන්තියා චෙතං අධිවචනං.” (අටුවාව)

කාම තණ්හාති, කාම තණ්හා යනු; කාමේ තණ්හා, පඤ්ච කාම ගුණයෙහි පැවති තණ්හා තොමෝ; කාම තණ්හා, කාම තණ්හා නමි; ඒතං, මේ කාමතණ්හා යන වචනය; පඤ්චකාමගුණිකරාගස්ස, පඤච කාමයන්හි පැවති රාගයට; අධිවචනං, නමකි.

භවේ තණ්හා, භවය කෙරෙහි පැවැති තණ්හා තොමෝ; භව තණ්හා, භව තණ්හා නමි; ඒතං, භව තණ්හා යන මේ වචනය; භවපස්ථනාවසේන උප්පන්නස රාගස්ස ච, කාම භවය ප්‍රාර්ථනා කිරීම් වශයෙන් උපන් රාගයට ද, සස්සත දිට්ඨි සහගතස්ස රාගස්ස ච, ශාස්වත දෘෂ්ටිය හා එක්ව පැවති රාගයට ද; රූපාරූප භව රාගස්ස ච, රූප භව අරූප භවයන් කෙරෙහි පැවති රාගයට ද; ඣානනිකන්තියා ච, රූප ධ්‍යාන, අරූප ධ්‍යානයන් කෙරෙහි පැවති තණ්හාවට ද, අධිවචනං, නමකි.

මේ අටුවා කියමන අනුව භවතණ්හාවේ කොටස් සතරක් ඇත. එහි කාම භවයෙහි පැවති තණ්හාව යනු කාම භූමික සත්වයන්ට දැන් ලැබී තිබෙන භවය කෙරෙහි පවත්නා ආසාව ද, මතු අනාගතයෙහි දෙව් මිනිස් සම්පත් ලබා ගැනීමේ ආසාව ද කාමභවය හා සම්බන්ධ වන බැවින් කාමභවතණ්හා ය යි කියනු ලැබේ.

ශාස්වත දෘෂ්ටිය සමග පවත්නා රාගය යනු “සත්වයා හෝ ආත්මය සදා කල්හි විනාස නො වී පවත්නේය ය” යි වැරදි සේ වටහා ගන්නා දිට්ඨිය හා එක්ව පවත්නා තෘෂ්ණාව ය. මෙහි භව ශබ්දය සදාකාලිකය යන අර්ථයෙහි වැටේ. නිතර පවත්නා එකක් වශයෙන් ආස්වාද කරන බැවින් මේ සස්සත දිට්ඨිය හා යෙදුනු රාගය භවතණ්හා නමි. විභවතණ්හා යනු මරණයෙන් පසු නැවත ඉපදීමක් නැතැයි වරදවා වටහා ගන්නා දිට්ඨිය අනුව කල්පනා කොට නැවත උපතක් නැති වීම ගැන ආසා කරන රාග ය යි.

තවද රූප අරමුණක් දකිමින් සිටින කල්හි එහි ප්‍රකට ව පවත්නා උපාදාන ස්කන්ධ දුක්ඛ ධර්මයන්ට හොඳ ඒවා ය යි - උතුම් ඒවා ය යි වටහාගෙන එයට ආස්වාද කරන එහි ඇලෙන තණ්හාව සමුදය සත්‍යය යි. මේ තණ්හාව නො පහ කළ පුද්ගලයා දැන් මේ පවත්නා කාලයෙහි සැප සම්පත් ලබා ගැනීම පිණිස ද, මතු අනාගතයෙහි සැප සම්පත් ලබා ගනු පිණිස ද, පැහැදුනු සිතින් හොඳ කිරීමක් පාසා හොඳ වචනයක් පාසා හොඳ සිතුවිල්ලක් පාසා කය, වචන, සිත යන තුන් දොරින් පිරිසිදු කුසල් සිත් උපදවා ගන්නේ ය. නො පැහැදුනා වූ අපිරිසිදු සිතින් යුක්ත ව කයින් කිරීමක් පාසා වචනයෙන් කීමක් පාසා සිතින් සිතීමක් පාසා අකුසල් උපදවා ගන්නේ ය. එක් එක් භවයක දින එක් එක් ආත්මයක දී එක සත්වයකු තුළ උපදනා මේ කුසල් හා අකුසල් මෙපමණකැ යි ප්‍රමාණ කළ නො හැක්කේ ය. එහෙත් එසේ රැස්කර ගත් අනේක විධ කර්මයන් අතුරෙන් අවකාශය ලත් කර්මයක් හෝ ඒ කර්‍මය කිරීමට උපකාර වූ අරමුණක් හෝ මරණාසන්න කාලයෙහි ඔහුගේ සිතට වැටහී එන්නේ ය. එසේ නැතහොත් උපදින අලුත් භවයෙහි පවත්නා යම් යම් ද්‍රව්‍ය වස්තු වු අරමුණු ඒ කයේ ආනුභාවයෙන් ම සිතට වැටහී එන්නේ ය. සිහිනයක් දකින්නාක් මෙනි. එයට කර්මය, කර්ම නිමිත්තය, ගති නිමිත්ත ය යි කියනු ලැබේ. මෙකී අරමුණු තුනෙන් ප්‍රකට වූ අරමුණෙක්හි එල්බගෙන මැරෙණ සත්වයාහට අවසාන නාම රූප කොටස නිරුද්ධ වූ වහා ම ඒ වැටහුනු අරමුණෙහි ම එල්බගෙන ඒ කයෙන් ම අලුත් භවයෙත්හි උපදානාස්කන්ධ පඤ්චකය උපදව යි. මෙහි දී කර්මය ආදී අරමුණෙහි එල්බ ගන්නා ආකාරය නම්, භය ජනක සේවනයක් දුටු තැනැත්තාහට නින්දෙන් පිබිදි කල්හි ද ඒ භය නො සන්සිඳීම හා සම වෙයි.

පෙර පසු සම්බන්ධය ඇති වන ආකාරය නම් දක්නා ලද රූපයෙහි නො නවත්වා කල්පනා කිරීම මෙනි. (මෙය යෝගී පුද්ගලයන් විසින් ප්‍රත්‍යක්ෂ ව දත හැකි උපමාවකි) අලුත් භවයෙහි පිළිසිඳීමේ දී පළමු කොට හටගත් ඒ ස්කන්ධයන්ගෙන් පටන් ගෙන නැවත නැවතත් උපාදාන ස්කන්ධ පරම්පරාව උපදින්න පටන් ගනී. මේ භවයේ දී රූප අරමුණක් දැකීමෙන් පසු නැවතත් දකින්ට ලැබේ. ඉන් පසු ඒ ගැන කල්පනා කරයි. කනට ශබ්දයක් හමුවීමෙන්ද උපාදානස්කන්ධයාගේ පරම්පරාව නො සිඳී පවතින්නාක් මෙනි. මෙසේ ඇති වීමේ දී ඒ උපාදානස්කන්ධයන්ගේ පළමු පහළ වීම ජාති දුක්ඛය යි. නැවත නැවත ඇතිවන ඒ ස්කන්ධයගේ මුහුකුරා යාම ජරා දුක්ඛ ය යි. ඒ ස්කන්ධයන් අතුරුදහන් වී ම මරණ දුක්ඛය යි. මරණයට පෙර නොයෙක් විපත්වල දී නිතර ඇතිවන සෝක පරිදේව ආදිය ද දුක් ම ය.

දැකීම් ඇසීම් ආදී වශයෙන් නිරතුරුව නො කඩවා ඇතික්වෙමින් පවතින්නේ ද උපාදානස්කන්ධ සමූහයකි. එය ද දුක් ම ය. මේ ඒකාන්ත දුක් රැස ඇති වූයේ කුමක් නිසා ද? කර්මය නිසා ය. කර්ම කුමක් හෙයින් හට ගන්නේ ද? එය කුමක් හෙයින් විපාක උපදවනේ ද? උපාදාන ස්කන්ධයන් කෙරෙහි ආස්වාදය ඇති කරන තණ්හා නිසා ය. තණ්හාව නැති තැනැත්තාට අලුත් කර්මයක් ද ඇති නො විය හැකි ය. ඇති ව තිබෙන පුරාණ කර්ම ද අලුත් භවයක් විපාක වශයෙන් නූපදව යි. එහෙයින් භවයක් භවයක් පාසා පළමුවෙන් ඇති ව පවත්නා උපාදනස්කන්ධයන්ගේ පටන් හැම දුකකගේ ම මූල හේතුව නම් තණ්හාව මැ යි. එහෙයින් දැකීම් ආදියෙහි දී ප්‍රකට ව පවත්නා උපාදානස්කන්ධ රැස ම හොඳය, යහපත් යයි වටහාගෙන ආස්වාදය උපදවන එය ම ප්‍රාර්ථනා කරන තණ්හාව සමුදය සත්‍යය යි. “යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා” යනුවෙන් වදාළේ ඒ නිසා ය.

පාලි

“සා ඛො පනෙසා භික්ඛවෙ තණ්හා - කත්ථ උප්පජ්ජමානා උප්පජ්ජති? කත්ථ නිවිසමානා නිවිසති? යං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.

කිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං? චක්ඛු ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ථ නිවිසමානා නිවිසති. සොතං ලොකෙ .... ඝානං ලොකෙ… ජිව්හා ලොකෙ… කායො ලොකෙ… මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.

රූපා ලොකෙ… සද්දා ලොකෙ… ගන්ධා ලොකෙ… රසා ලොකෙ… ඵොට්ඨබ්බා ලොකෙ… ධම්මා ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.”

කෙටි අදහස

මහණෙනි! ඒ මේ තෙවැදෑරුම් තණ්හාව උපදින්නී කවර තැනෙක්හි (කුමක් අරමුණුකොට) උපදින්නී ද? කවර තැනෙකට ඇතුල් ව පිහිටා සිටින්නී ද? සංස්කාර

ලෝකයෙහි ප්‍රිය ස්වභාවය ඇත්තා වූ ආස්වාද කළ යුතු යම් මිහිරි අරමුණක් වෙයි නම් තණ්හාව ඒ මිහිරි අරමුණෙහි උපදී. එහි ඇතුල් ව පිහිටා සිටී.

සංස්කාර ලෝකයෙහි තණ්හාවගේ අරමුණ වූ ප්‍රිය ස්වභාවය ඇති ඒ මිහිරි අරමුණ කුමක් ද? සංස්කාර ලෝකයෙහි ඇසට ප්‍රිය වූ මිහිරි අරමුණකි. මේ තණ්හා ව ඒ ඇස අරමුණු කොට එහි උපදි. එහි ඇතුල් ව සිටී. කණ, නැහැය දිව, කය, මනස අරමුණු කොට එහි උපදී. එහි ඇතුල්ව සිටි.

පාලි

“රූපා ලොකෙ පියරූපං සාතරූපං. එත්ථෙසො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති: එත්ථ නිවිසමානො නිවිසති. සද්ද ලොකෙ, ගන්ධා ලොකෙ, රසා ලොකෙ, ඵොට්ඨබ්බො ලොකෙ, ධම්මා ලොකෙ, පියරූපං සාතරූපං ඵත්ථසො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ථ නිවිසමානා නිවිසති.”

කෙටි අදහස

සංස්කාර ලෝකයෙහි රූප අරමුණු, ශබ්ද අරමුණු, ගන්ධ අරමුණු, රස අරමුණු, පොට්ඨබ්බ අරමුණු ස්වභාව ධර්ම අරමුණු, ප්‍රිය වූ මිහිරි අරමුණු ය. මේ තණ්හාව ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ස්වභාව ධර්ම යන මොවුන් අරමුණු කොට එහි උපදී. එහි ඇතුළත් ව පවතින්නී ය, සිටින්නී ය.

එහි විස්තරය

මේ සංකාර ලෝකයෙහි ප්‍රිය - මධුර (මිහිරි) ස්වභාවයෙන් යුක්ත වන්නේ ලෞකික ධර්ම සමූහයකි.

එනම් :- ලෞකික සිත් අසු එක ය, එහි යෙදෙන චෛතසික දෙපණස ය, රූප විසි අට ය යන මේවා ය. එයින් තම තමන්ගේ ඇස් කන් ආදිය කෙරෙහි මමය මාගේ යයි තදින් වරදවා ගත් තැනැත්තා තමා ගේ ඇස කැඩපත් ආදියෙන් බලා එය රන් විමනක සවි කළ මැණික් සීමැදුරක් (ජනේලයක්) මෙන් ආස්වාද වශයෙන් හඟින්නේ ය. සිතා ගන්නේ ය. තමාගේ කන් සිදුර රිදියෙන් සෑදු බට සිදුරක් මෙන් ද, එල්ලෙන කණ රන් සවඩි පටක් මෙන් ද, උස් වූ දික් වූ නැහැය හිරියල් වැටියක් මෙන් ද, දිව රන් කම්බිලි පටලයක් මෙන් ද, කාය ප්‍රසාදය සහිත මුලු කය තරුණ සල් රුකක් මෙන් ද - රන් තොරණක් මෙන් ද, තමන්ගේ සිත අනුන්ගේ සිත හා සම නො වූ උදාර වූ (උසස්) වස්තුවක් කොට ද සලකන්නේ ය. රූපාලම්බනය රන්වන් කිණිහිරි මලේ වර්ණය මෙන් ද, ශබ්දය මදයෙන් මත් වූ කුරවි කොවුල් හඬ මෙන් ද, තමාට ලැබී ඇති කර්මාදී ප්‍රත්‍යය සතරින් හටගන්නා ගන්ධ, රස, පොට්ඨබ්බ අරමුණු ගැන සිතමින් මෙවැනි මිහිරි අරමුණු මට මිස වෙන අයට ලැබෙන්නේ නැතැ යි හඟින්නේ ය. කල්පනා කරන්නේ ය.

මෙසේ වැරදි හැඟීම් උපදනා කල්හි ඒ සත්වයන්ට ඇස්, කන් ආදිය හා රූප ශබ්ද ආදිය අරමුණු කොට නූපන් තණ්හාව ද උපදින්නී ය. උපන් තණ්හාව ද නැවත නැවත පැවතීම් වශයෙන් - ඉපදීම් වශයෙන් ඒ ඒ අරමුණෙහි බැස ගන්නී ය. බැසගෙන පිහිටා සිටින්නී ය.

චක්ඛු, සෝත ආදි අජ්ඣත්තික ආයතන සය ද, රූප, ශබ්ද ආදී බාහිර ආයතන සය ද, චක්ඛු විඤ්ඤාණය.

ආදී විඤ්ඤාණ සය ද, චක්ඛු සම්ඵස්සය ආදී එස්සය ද, චක්ඛු සම්ඵස්සජ වේදනාව ආදී වේදනා සය ද, රූප සචේතනාව ආදී චේතනා සය ද, රූප තණ්හාව ආදී තණ්හා සය ද, රූප විතක්කය ආදී විතර්ක සය ද, රූප විචාරය ආදී විචාර සය ද යන මේ සියල්ල තණ්හාවගේ අරමුණු ය. එහෙයින් ඒ සියල්ල ම පියරූප සාත රූප නම් වේ.

තව ද යට කී පරිදි තණ්හාවට අරමුණු වන ලෞකික ධර්‍ම සියල්ල පිය රූප සාතරූප වන බව යමකප්‍රකරණ ඛන්ධ යමකයෙහි ද වදාරා තිබේ. මෙසේ දේශනා කොට තිබිය දී ඇතැම් අය ස්ත්‍රියට පුරුෂ රූපය ත් පුරුෂයාට ස්ත්‍රී රූපය ත් යන මෙ පමණක් ම පියරූප සාතරූප වන බව ප්‍රකාශ කරති. එය පියරූප සාතරූප යන වචනයේ ස්වරූපාර්ථය කුමක් දැ යි නොදත් කමින් ප්‍රකාශ කරන කියමනක් බව සැලකිය යුතු යි.

නිරෝධ සත්‍යය

පාලි

“කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛ නිරොධං අරියසච්චං? යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො.

සා ඛො පනෙසා භික්ඛවෙ තණ්හා කත්ථ පහීයමානා පහීයති? කත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති? යං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.කිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං?

චක්ඛු ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. සොතං ලොකෙ…පෙ… ඝානං ලොකෙ… ජිව්හා ලොකෙ… කායො ලොකෙ… මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.

රූපා ලොකෙ… සද්දා ලොකෙ… ගන්ධා ලොකෙ… රසා ලොකෙ… ඵොට්ඨබ්බා ලොකෙ… ධම්මා ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.

කෙටි අදහස

මහණෙනි! දුක් නැති කිරීමේ ආර්යය සත්‍යය කවරේ ද? සමුදය සත්‍යය සංඛ්‍යාත වූ ඒ තණ්හාවගේ ම යම් සම්පුර්ණ නිරෝධයක් වෙ යි ද, යම් අත් හැරීමක් වෙයි ද, යම් මිදීමක් වෙයි ද, යම් නො ඇලීමක් වෙයි ද මෙය ඒ නිරෝධ ආර්ය සත්‍යය යි.

මහණෙනි! ඒ තණ්හාව පහ ව යන කල්හි කොතැන්හි පහ ව ය යි ද? නිරුද්ධ වන කල්හි කොතැන්හි නිරුද්ධ වෙයි ද? සංඛාර ලෝකයෙහි ප්‍රිය වූ මිහිරි වූ යම් දෙයක් ඇත්නම් මේ තණ්හාව පහ ව යන කල්හි නිරුද්ධ වන කල්හි ඒ ප්‍රිය වූ මිහිරි අරමුණෙහි පහව ය යි, ඒ අරමුණෙහි නිරුද්ධ වෙයි. මහණෙනි! ප්‍රිය වූ මිහිරි අරමුණ කුමක් ද?

සඞ්ඛාර ලෝකයෙහි ඇස පිය වූ මිහිරි අරමුණකි. මේ තණ්හාව පහ ව යන කල්හි නිරුද්ධ වන කල්හි ඇස ය යි කියන ලද මේ ප්‍රිය වූ මිහිරි අරමුණෙහි ම පහව ය යි. මෙහි ම නිරුද්ධ වෙයි. සඞ්ඛාර ලෝකයෙහි කණ, නැහැය, දිව, කය, මනස යන මෙය ප්‍රිය වූ මිහිරි අරමුණු ය. මේ තණ්හාව පහ ව යන කල්හි, නිරුද්ධ වන කල්හි මෙකී ප්‍රිය වූ මිහිරි අරමුණෙහි ම පහ ව ය යි. මෙහි ම නිරුද්ධ වෙ යි.

සඞ්ඛාර ලෝකයෙහි රූප, සද්ද, ගන්ධ, රස පොට්ඨබ්බ, ධම්ම යන මේ සියල්ල ප්‍රිය වූ මිහිරි අරමුණු ය. මේ තණ්හාව පහ ව යන කල්හි නිරුද්ධ වන කල්හි මේ ප්‍රිය වූ මිහිරි අරමුණෙහි ම පහ ව ය යි. මෙහි ම නිරුද්ධ වෙ යි. කොටින් කියතහොත් ලෞකික ධර්ම සියල්ල ම තණ්හාවට අරමුණු වන ප්‍රිය වූ මිහිරි අරමුණු ය. ඒ තණ්හාව පහ ව යන කල්හි මේ ප්‍රිය වූ මිහිරි අරමුණෙහි ම පහ ව යන්නී ය.

“ඉමස්මිඤ්ච ඛ්‍යාමමත්තෙ කලෙබරෙ සසඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤපෙමි, ලොකසමුදයඤ්ච, ලොකනිරොධඤ්ච, ලොක නිරොධගාමිනීපටිපදඤ්ච පඤ්ඤාපෙමි” (දෙවපුත්ත සංයුත්ත හා චතුක්කඩ්ගුත්තර පාලි)

සංඥාව සහිත වූ සිත් පිත් නැති බඹයක් පමණ වූ කැඩී බිඳී යන හෙයින් ලෝක සම්මත වූ මේ ශරීරයෙහි ම දුක ද, දුක් උපදවන තණ්හාව ද දුක් නැතිව යන නිවන ද දුක් නැති කිරීමේ මාර්ගය ද ඇතැයි පණවමි යනු ඒ ශ්‍රී මුඛ පාඨයේ අදහස යි.

“නාහං ආවුසො ඉමානි චත්තාරි සච්චාති තිණකට්ඨාදීසු පඤ්ඤපෙමි, ඉමස්මිං පන චාතුමහාභූතිකෙ කායස්මිං යේව පඤ්ඤාපෙමීති දස්සෙති” (අටුවා පාඨය)

ඇවැත්නි! මේ චතුස්සත්‍යය තෘණ කාෂ්ටාදියෙහි ඇතැයි මම නො වදාරමි. පඨවි ආදී මහා භූත ධාතු සතරින් සෑදුණු මේ ශරීරයෙහි ම ඇතැ යි වදාරමි යනු එහි තේරුම යි.

කෙලෙස් ගිනි නිවන මාර්ග ඥානයෙන් අවබෝධ වු කල්හි නාම රූප ස්කන්ධ සියල්ල දුක් රැසක් ය යි කියා ඇත්ත වශයෙන් විනිශ්චය කොට දත හැකි වන්නේ ය. එහෙයින් නාම රූප ස්කන්ධයන් කෙරෙහි ආස්වාදය උපදවන තණ්හාව ඇති නො වේ. තණ්හාව දුරු වී යාමෙන් අලුත් භවයකගේ පහළ වීම ය යි කියන ලද නාම රූප ස්කන්ධයෝ ද පහළ නො වෙත්. මෙසේ අලුත් භවයක් වූ නාම රූප ධර්මයන් පහළ නො වීම අනුපාදිසේස නිබ්බාන ය යි කියන ලද දුක් සංසිඳීයාම ය. මෙහි සංසිඳීම යනු උපදින්ට තිබෙන ස්කන්ධයගේ නො ඉපදීම ය. එහෙයින් අටුවායෙහි එයට අනුප්පාදනිරෝධ ය යි කීහ.

එහෙයින් සමුදය සත්‍ය නමැති තණ්හාව සහ දුක්ඛ සත්‍යය නම් වූ නාම රූප ස්කන්ධයන් නැවත නූපදනා පරිදි සංසිඳෙන - මාර්ග ඥානයට අරමුණු වන නිවන නිරෝධ සත්‍ය ය යි. “යොතස්සායෙව තණ්හාය අසේස විරාග නිරොධො” යන ආදිය වදාළේ මේ නිරෝධ සත්‍යය ප්‍රකාශ කිරීමට ය.

මාර්ග සත්‍යය

කතමඤ්ච භික්ඛවේ දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං? අයමෙව අරියෝ අට්ඨංගිකෝ මග්ගො, සෙය්‍යථිදං සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මා වාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මා සති, සම්මා සමාධි.

කෙටි අදහස

මහණෙනි! දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්යය, සත්‍යය කවරේ ද? මේ අඞ්ග අටක් ඇති ආර්ය මාර්ගය මැ යි. එනම්, සම්මා දිට්ඨිය, සම්මා සඞ්කප්පය, සම්මා වාචාය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය යන මෙය යි. නිවන අරමුණු කරමින් ඒ නිවන ප්‍රත්‍යක්ෂ ව දන්නා මෙකී සම්මාදිට්ඨි ආදී මාර්ග අට මාර්ග සත්‍යය යි.

කමටහන් වශයෙන් වනාහි චතුස්සත්‍යයන් අතුරෙන් පෘථග්ජන සන්තානයෙහි උපදිමින් නැසෙමින් පවත්නා නාම රූප ධර්ම සමුහය දුක්ඛ සත්‍යය හා සමුදය සත්‍යය නම් වේ. එයිනුත් ස්කන්ධයන් කෙරෙහි ආසා කිරීම යයි කියන ලද තණ්හාව ම සමුදය සත්‍යය යි. ඒ තණ්හාව හැර ඉතිරි නාම රූප ධර්ම සියල්ල දුක්ඛ සත්‍යය යි. මෙනෙහි කරනු ලබන අරමුණු හා සිත සන්සිඳී යාම නිරෝධ සත්‍යය යි. එකී සන්සිඳීම් ස්වභාවය වූ නිවනට පමුණුවමින් ප්‍රත්‍යක්ෂ ව දැනගන්නා ස්වභාවය මාර්ග සත්‍යය යි. මේ නියායෙන් නූගත් අයට පවා චතුස්සත්‍යය කුමක් දැ යි දත හැකි ය.

මෙකී චතුස්සත්‍යයන් අතුරෙන් සංසාර වට්ටයට අයත් දුක්ඛ, සමුදය යන මේ සත්‍ය දෙකක් පමණක් විදර්ශනා අරමුණ වශයෙන් ගෙන මෙනෙහි කළ යුතු ය. නිරෝධ - මග යන විවට්ට සත්‍යය දෙක වනාහි යභපත් බව දැන එයට සිත යොමු කිරීම ප්‍රමාණ වේ. සිත යොමු කිරීම පමණකින් ම ඒ සත්‍ය දෙක පිළිබඳ මෙනෙහි කිරීම් කෘත්‍යය සිදු වෙයි. එහෙයින් චතුසච්ච කම්මට්ඨානය අටුවායෙහි මෙසේ සඳහන් ව ඇත.

“තත්ථ පුරිමානි ද්වෙ සච්චානි වට්ටං, පච්ඡිමානි විවට්ටං, තෙසු භික්ඛුනො වට්ටෙ කම්මට්ඨානාභිනිවෙසො හොති, විවට්ටෙ නත්ථි අභිනිවෙසො, පුරිමානි හි ද්වෙ සච්චානි” පඤ්චක්ඛන්ධා දුක්ඛං, තණ්හා සමුදයොති එවං සඞ්ඛෙපෙන ච කතමෙ පඤ්චක්ඛන්ධා රූපක්ඛන්ධොති ආදිනා නයෙන විත්ථාරෙන ච, ආචරියස්ස සන්තිකෙ උග්ගණ්හිත්වා වාචාය පුනප්පුනං පරිවත්තෙන්තො යොගාවචරො කම්මං කරොති. ඉතරෙසු පන ද්වීසු සච්චෙසු නිරොධසච්චං ඉට්ඨං කන්තං මනාපං මග්ගසච්චං ඉට්ඨං කන්තං මනාපන්ති එවං සවණෙනෙව කම්මං කරොති. සො එවං කරොන්තො චත්තාරි සච්චානි එකප්පටිවෙධෙනෙව පටිවිජ්ඣති, එකාභි සමයෙන අභිසමෙති. දුක්ඛං පරිඤ්ඤාපටිවෙධෙන පටිවිජ්ඣති. සමුදයං පහානපටිවෙධෙන, නිරොධං සච්ඡිකිරියාපටිවෙධෙන, මග්ගං භාවනාපටිවෙධෙන පටිවිජ්ඣති. දුක්ඛං පරිඤ්ඤාභිසමයෙන…පෙ… මග්ගං භාවනාභිසමයෙන අභිසමෙති. එවමස්ස පුබ්බභාගෙ ද්වීසු සච්චෙසු උග්ගහපරිපුච්ඡාසවනධාරණසම්මසන පටිවෙධො හොති. ද්වීසු පන සවනපටිවෙධො යෙව. අපරභාගෙ තීසු කිච්චතො පටිවෙධො හොති, නිරොධෙ ආරම්මණපටිවෙධො.”

ඒ චතුස්සත්‍යය අතුරෙන් පළමු සත්‍ය දෙක වට්ට සච්ච නමි. පසු දැක් වූ නිරෝධ, මග දෙක විවට්ට සච්ච නමි. ඒ වට්ට, විවට්ට සත්‍යයන් අතුරෙන් යෝගී පුද්ගලයාහට දුක්ඛ සමුදය යන වට්ට සච්ච දෙක්හි කමටහන් මෙනෙහි කිරීම සිදු වෙයි. විවට්ට සච්ච දෙකෙහි කමටහන් මෙනෙහි කිරීමක් නැත.

විස්තර වශයෙන් වනාහි පඤචස්කන්ධය දුක් ය. තණ්හාව දුකට හේතුව ය යි සැකෙවින් ද ඉගෙන ගත යුතු ය. පචස්කන්ධය කවරේ ද? රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ය යි විස්තර වශයෙන් ද උගත යුතු ය. පළමු සත්‍ය දෙක ගුරුවරයාගේ සමීපයෙහි ඉගෙන නැවත නැවත වචනයෙන් කියමින්, සිතමින් යෝගී තෙමේ විදසුන් වඩ යි. අනික් සත්‍ය දෙක අතුරෙන් නිරෝධ සත්‍යය ඉෂ්ටය, කාන්තය, මන වඩන්නේය, මාර්ග සත්‍යය ද ඉෂ්ටය, කාන්ත ය, මන වඩන්නේ ය යි මෙසේ ශ්‍රවණයෙන් ම විදර්ශනාව සිදු වෙයි. මෙසේ කරනුයේ චතුස්සත්‍යය එකවරට ම මාර්ග ක්ෂණයෙහි අවබෝධ කරයි. දුක්ඛ සත්‍යය පරිඥා ප්‍රතිවේධයෙන් පිරිසිඳ දැන ගැනීමෙන් ප්‍රතිවේධ කරයි. සමුදය සත්‍යය ප්‍රහාණ ප්‍රතිවේධයෙන් පහකිරීම් වශයෙන් ප්‍රතිවේධ කරයි. නිරෝධ සත්‍යය සච්ඡි කරණ ප්‍රතිවේධයෙන් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධකර යි. මාර්ග සත්‍යය භාවනා ප්‍රතිවේධයෙන් වැඩීමෙන් ප්‍රතිවේධ කර යි. දුක්ඛ සත්‍යය පරිඤඤාභිසමයෙන් පිරිසිඳ දැනගනී. සමුදය සත්‍යය පහානාභිසමයයෙන් පහකරමින් දැනගනී. නිරෝධ සත්‍යය සච්ඡිකිරියාභිසමයයෙන් ප්‍රත්‍යක්ෂ කරමින් දැනගනී. මාර්ග සත්‍යය භාවනාභිසමයයෙන් වඩමින් දැනගනී. මෙසේ ඒ යෝගී පුද්ගලයාහට පූර්ව භාගයෙහි ලෞකික සත්‍ය දෙකෙහි උග්ගහ, පරිපුච්ඡා, සවන, ධාරණ. සම්මසන ප්‍රතිවේධය වෙ යි.

මෙතන්හි උග්ගහ පරිපුච්ඡාදී වශයෙන් දැනගැනීම භාවනාමය ඤාණයෙන් නො ව සුතමය ඤාණයෙන් සිදු වන බව දත යුතු ය. සමසන වශයෙන් දැන ගැනීම ම විපස්සනා භාවනාමය ඤාණයෙන් දැනගැනීම බව සැලකිය යුතු ය.

නිරෝධ, මාර්ග සත්‍ය දෙකෙහි වනාහි ප්‍රතිවේධය ම වෙයි. පසු භාගයෙහි වූ මාර්ග ක්ෂණයෙහි දී දුක්ඛ සමුදය ම සත්‍ය තුනෙහි කෘත්‍ය වශයෙන් ප්‍රතිවේධයව යි. නිරෝධය වූ නිවන ම මාර්ග ඥානයෙන් අරමුණු කොට දැන ගන්නේ ය. අනික් සත්‍ය තුනෙහි කෘත්‍ය වශයෙන් ප්‍රතිවේධය වෙ යි. නිරෝධ සත්‍යයෙහි නිවන අරමුණු කිරීම් වශයෙන් ආරම්මණ ප්‍රතිවේධය වෙයි.

එය එසේ මැ යි. මාර්ග ඥානයට අරමුණු වන්නේ නිවන ය. අනික් සත්‍ය තුන අරමුණු වශයෙන් නො ව පරිඤඤා, පහාණ, භාවනා, කෘත්‍ය සම්පාදනයාගේ වශයෙන් දැන ගන්නේ ය.

පෘථග්ජනයාහට ලෝකෝත්තර ධර්ම අරමුණු නො වන නිසා ද ඒ ලෝකෝත්තර ධර්ම ආර්යයන්ට අරමුණු වන නමුත් එයින් කෙලෙස් පහ නො වන නිසා ද නිරෝධ මඟ දෙක විපස්සනා අරමුණු වශයෙන් නො ගන්නේ. “ඉට්ඨං කතං” යන ආදී අටුවා පාඨයෙන් ද “අද්ධා ඉමාය පටිපත්තියා ජරා මරණම්හා පරිමුච්චිස්සාමි” යනුවෙන් මේ ප්‍රතිපදාවෙන් ජරා මරණ දුකින් මිදෙන්නෙම් වා! ය යි නිවන හා එයට පමුණුවන ප්‍රතිපදා මාර්ගය ලබා ගත යුතු ය යි පූර්ව භාගයෙහි ම එයට සිත යොමු කිරීමෙන් නිරෝධ, මග සත්‍ය දෙක පිළිබඳ කටයුතු අවසන් කොට ඇත. එයට ආසා කරමින් මොහොතක් පාසා මෙනෙහි කිරීමක් සිදු නො වේ. විදර්ශනා වඩන කල්හි නිවනට හා මාර්ගයට ආශාව ඇති වුවහොත් මහා දිට්ඨි කෙලෙසුන් කරණ කොට ගෙන විදර්ශනාව කිලිටි විය හැකි ය.

නිරෝධ, මාර්ග සත්‍ය දෙක උපදවා ගැනීමට බලා පොරොත්තු වන යෝගී පුද්ගලයා විසින් පළමු කොට සිය සතන්හි ප්‍රකට ව පවත්නා දුක්ඛ ධර්මයන් හා සමුදය ධර්මයන් විදර්ශනා වශයෙන් මෙනෙහි කිරීම අජ්ඣත්තසච්ච ධම්මානුපස්සනා නමි. අධ්‍යාත්ම ධර්මය පැහැදිලි ව වැටහුණු කල්හි බහිද්ධා ධර්මයන් ද ඒ අනුසාරයෙන් වටහා ගත හැකි වෙ යි. එසේ වටහාගත හැකි වීම බහිද්ධාසව ධම්මානුපස්සනා නමි.

ඒ හැර දකිනු ලබන, ඇසෙනු ලබන අනුන් පිළිබඳ වර්ණ, ශබ්ද ආදිය මෙනෙහි කරමින් ඒ සියල්ල දුක් ය යි දැන ගැනීම ද බහිද්ධා සච්චධම්මානුපස්සනා නම් වේ. මෙහි දී චතුස්සත්‍යය මෙනෙහි කෙරේ ය යි කී නමුත් දුක්ඛය හා සමුදය යන දෙක පමණක් මෙනෙහි කිරීමේ අරමුණු වශයෙන් ලැබෙන බව දත යුතු ය. නිරෝධය හා මාර්ගය විදර්ශනා අරමුණු නොවන බැවින් ද ඒවා පෘථග්ජනයා තුළ නොමැති බැවින් ද මෙනෙහි නො කළ හැකි ය. ඒ සත්‍ය දෙක යහපත් ඒවා ය යි අසා දැන සිටින නිසා නිවන මාර්ගය අවබෝධ කරගනු කැමැත්ත හා ලබා ගනු කැමැත්ත ඒ පිළිබඳ මෙනෙහි කිරීම ය යි අටුවා ටීකාවන්හි කියන ලදී.

නොහොත් ඇසීම් දැකීම් ආදී දුක්ඛ සත්‍යයෙහි ඇතුළත් ස්වභාව ධර්මයන් මෙනෙහි කරමින් ඒ සියල්ල දුක් ය යි අවබෝධ වීමක් පාසා එහි ආස්වවාද කරන තව පහකරමින් ප්‍රහාණ ප්‍රතිවේධ කෘත්‍යය ද සිදුවෙ යි. තදඞ්ග නිරෝධය සිදු කරමින් සච්චකිරියා පටිවේධය ද සිදු වෙයි. ලෞකික මාර්ගය උපදවමින් භාවනා ප්‍රතිවේධය ද සිදු වෙයි. එහෙයින් දැකීම්, ඇසීම්

ආදී දුක්ඛ සත්‍ය ධර්මයන් මෙනෙහි කරමින් අනික් සත්‍ය තුනෙහි ද පහාන, සච්ඡිකිරියා භාවනා කෘත්‍යයන් සිදු වීමෙන් දැන ගැනීම ම ආධ්‍යාත්මික සත්‍ය සතර හා බහිද්ධා සත්‍ය සතර මෙනෙහි කිරීම ය යි සැලකිය යුතු ය.

කමටහන් බෙදා දැක්වීම

මේ මහා සතිපට්ඨාන සූත්‍රයෙහි ආනාපාන පබ්බය, ඉරියාපථපබ්බය, සම්පජඤ්ඤපබ්බය, පටික්කූලපබ්බය, ධාතුවවත්ථාන පබ්බය, සීවථික පබ්බ නව ය ය යි. කායානුපස්සනා කොටස් (14) තුදුසකි. වේදනානුපස්සනාව ය, චිත්තානුපස්සනාව ය, නීවරණපබ්බ ය, ඛන්ධ පබ්බ ය, ආයතන පබ්බ ය, බොජ්ඣඞ්ගපච්ච ය, සච්චපබ්බ ය යි ධම්මානුපස්සනාව කොටස් (5) පහකි. මෙසේ මෙහි කමටහන් (21) එක් විස්සක් දක්වන ලදී.

ඔවුන් අතුරෙන් ආනාපානය, පටික්කුලය, සීවථික නවය යන මේ එකොළොස අර්පනා ධ්‍යාන උපදවන කමටහන් ය යි මහ අටුවායෙහි කීහ. දීඝභාණක මහා සිව තෙරුන් වහන්සේ වනාහි සීවථික නවය ආදීනවානුපස්සනා ය යි කියන ලද විදර්ශනා වශයෙන් දක්වන ලද්දේ ය යි කීහ. මේ ථෙරවාදය අනුව ආනාපාන පටිකූල යන දෙක පමණක් අර්පනා ධ්‍යාන උපදවන කමටහන් ය. අනික් කමටහන් (19) එකුන් විස උපාචාර ධ්‍යාන නම් වූ බණික සමාධියම උපදවන විදර්ශනා කර්මස්ථාන, උපචාර කර්මස්ථාන ම වන බව සැලකිය යුතු යි.

එහෙයින් අටුවාකථායෙහි “තෙසු ආනාපානං ද්වත්තිංසාකාරො නවසීවථිකාති එකාදසකම්මට්ඨානානි හොන්ති. දීඝාභාණකමහාසිවත්ථෙරො පන නව සීවථිකා ආදීනවානුපස්සනාවසෙන වුත්තාති ආහ. තස්මා තස්ස වසෙන ද්වෙයෙව අප්පනාකම්මට්ඨානානි, සෙසානි උපචාර කම්මට්ඨානානි” යි කීහ.

මේ අටුවා කියමනෙහි “සෙසානි උපචාර කම්මට්ඨා නානීති” යි කී වචනය විශේෂයෙන් සිහි කළ යුත්තකි. ආනාපානය හා කේසාදි දෙතිස් කොටස් හැර සෙසු එකුන්විසි කමටහන් ම උපාචාර සමාධිය උපදවන කමටහන් ය යි කීහ. මේ කියමන වූ පරිදි ඉරියාපථ පබ්බ - සම්ජඤ්ඤ පබ්බ යන ආදීන්ගේ වශයෙන් විදර්ශනා වඩන යෝගී පුද්ගලයාහට උපදනා විපස්සනා ඛණික සමාධිය ම උපාචාර සමාධියකි. එය ම චිත්ත විසුද්ධිය වන බව ඉතා පැහැදිලි ය.

සතිපට්ඨානයේ ආනිසංස කථාව

පාලි

“යො හි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්ත වස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.

තිට්ඨන්තු භික්ඛවෙ සත්තවස්සානි, යො හි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡ වස්සානි…පෙ… පඤ්ච වස්සානි… චත්තාරි වස්සානි… තීණි වස්සානි… ද්වෙ වස්සානි… එකං වස්සං…

තිට්ඨතු භික්ඛවෙ එකං වස්සං යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තමාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.

තිට්ඨන්තු භික්ඛවෙ සත්ත මාසානි. යො හි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡ මාසානි…පෙ… පඤ්ච මාසානි… චත්තාරි මාසානි… තීණි මාසානි … ද්වෙ මාසානි… එකං මාසං… අඩ්ඪමාසං…පෙ

තිට්ඨන්තු භික්ඛවෙ අට්ඪමාසො, යො හි කොචි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තාහි තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතාති. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.

කෙටි අදහස

මහණෙනි, භික්ඛු, භික්ඛුණී. උපාසක, උපාසිකා යන සිවු පිරිස අතුරෙන් යම්කිසි යෝගී පුද්ගලයෙක් තෙම සතර සතිපට්ඨානය, ආනාපානය ආදී එක්විසි ආකාරයකින් වදාළ නය වශයෙන් සත්වසක් මුලුල්ලෙහි භාවනා කරන්නේ නම්, ඒ යෝගී පුද්ගලයාට හට ප්‍රත්‍යක්ෂ ආත්ම භාවය වූ ඉහාත්මයෙහි ම රහත් ඵලය ද, උපාදාන කෙලෙස් ඉතිරි ව ඇතහොත් අනාගාමි ඵලය ද යන මේ ආර්ය ඵල දෙක අතුරෙන් යම්කිසි ඵලයක් ඒකාන්තයෙන් ම ලබාගත හැකි වෙයි.

මහණෙනි, සත්වසක් නො ව යම්කිසි යෝගි පුද්ගලයෙක් මේ සතර සතිපට්ඨානය මෙසේ සයවසක් මුලුල් ලෙහි භාවනා කරන්නේ නම්, සයවසක් නො ව පස් වසක් භාවනා කරන්නේ නම්, පස්වසක් නොව සිවුවසක් මුලුල්ලෙහි භාවනා කරන්නේ නම්, සිවු වසක් නො ව තුන් වසක් මුලුල්ලෙහි භාවනා කරන්නේ නම්, තුන් වසක් නො ව දෙවසක් මුලුල්ලෙහි භාවනා කරන්නේ නම්, දෙවසක් නො ව එක් වසක් මුලුල්ලෙහි භාවනා කරන්නේ නම් ඒ යෝගී පුද්ගලයාහට මේ ආත්ම භාවයෙහි ම රහත් ඵලය ද උපාදාන කෙලෙස් ඉතිරිව ඇතහොත් අනාගාමි ඵලය ද යන මේ ආර්යය ඵල දෙක අතුරෙන් යම්කිසි ඵලයක් ඒකාන්තයෙන් ම ලබාගත හැකිවන්නේ ය.

එක් වසක් නො ව යම්කිසි යෝගි පුද්ගලයෙක් මේ සතර සතිපට්ඨානය මෙසේ සත් මසක් මුලල්ලෙහි භාවනා කරන්නේ නම් ඔහුට මේ ආත්ම භාවයෙදී ම ඉහත කී ආර්ය ඵලදෙක අතුරෙන් යම්කිසි ඵලයක් ඒකාන්තයෙන් ම ලබාගත හැකි ව න්නේ ය. මහණෙනි! සත් මසක් නො ව සමසක් මුලුල්ලෙහි භාවනා කරන්නේ නම්, සමසක් නො ව පස් මසක් මුලුල්ලෙහි භාවනා කරන්නේ නම්, පස් මසක් නොව සාර මසක් මුලුල්ලෙහි භාවනා කරන්නේ නම්, සාර මසක් නො ව තුන් මසක් මුලුල්ලෙහි භාවනා කරන්නේ නම්, තුන් මසක් නොව දෙමසක් මුලුල්ලෙහි භාවනා කරන්නේ නම්, දෙමසක් නො ව එක් මසක් මුලුල්ලෙහි භාවනා කරන්නේ නම්, එක් මසක් නො ව අඩ මසක් මුලුල්ලෙහි භාවනා කරන්නේ නම් ඉහත කී ආර්ය ඵල දෙක අතුරෙන් යම්කිසි ඵලයක් ඒකාන්තයෙන් ම ලබා ගත හැකි වන්නේ ය.

මහණෙනි! අඩ මසක් නො ව යම්කිසි යෝගී පුද්ගලයෙක් තෙම මේ සතර සතිපට්ඨානය ඉහත කී නය අනුව සත් දිනක් මුලුල්ලෙහි නො කඩවා භාවනා කරන්නේ නම් හෙතෙම මේ ආත්ම භාවයෙහිදී ම ඉහත කී ආර්යය ඵල දෙක අතුරෙන් යම්කිසි ඵලයක් ඒකාන්තයෙන් ම ලබා ගන්නේ ය.

එහි විස්තරය:

“යො හි කොචි භික්ඛවෙති යො හි කොච භික්ඛු වා භික්ඛුණී වා උපාසකො වා උපාසිකා වා” යනුවෙන් අටුවායෙහි කී බැවින් භික්ෂුවක් වේ වා, භික්ෂුණියක් වේ වා, ගිහියෙක් වේ වා, පිරිමියෙක් වේ වා, ස්ත්‍රියක් වේ වා, කවුරු හෝ වේ වා මේ සතිපට්ඨාන භාවනාව දේශනා නය නො ඉක්මවා වැඩුවහොත් රහත් ඵලය දක්වා ප්‍රතිඵල ලබා ගත හැකි බව විශ්වාස කළ යුතු ය.

මෙහි දී විදර්ශනා ඥානයන් ඇතුළු සෝවාන්, සකදාගාමි යන යට ඵල දෙක නො දක්වා මේ භාවනාවෙන් අනාගාමි බවට හෝ රහත් බවට පැමිණෙන බව දක්වන ලද්දේ විදර්ශනා ඥානයන් හා යට ඵලයන්ට පළමු කොට පැමිණෙන බව නය වශයෙන් සලකා ගත හැකි නිසා ය. එයින් මෙම භාවනාවෙන් සසර දුකින් එතෙර කරවීමේ නීයාණික භාවය දත හැකි වන බැවින් එය විනෙය ජනයාහට භාවනා කෘත්‍යයෙහි ශ්‍රද්ධාව හා කුසලච්ඡන්දය පහළ කරවීමට උපකාර වෙයි. මෙසේ දක්වා වදාළ බැවින් මේ සතිපට්ඨාන භාවනාව අතිශයින් උතුම් ය. සත් දිනක් මුලුල්ලෙහි භාවනා කළ පමණින් රහත් බව ලබාගත හැකි ය. රහත්වන්ට නො හැකි වුවත් අනාගාමි විය හැකි ය. එසේත් නො හැකි වුවහොත් සෝවාන් බව හෝ සකදාගාමි බව පහසුවෙන් ම ලබා ගත හැකි ය.මේ තරම් කෙටි කාලයකින් මේ තරම් උතුම් මාර්ග ඵල විශේෂයන් උපදවා ලියහැකි දෙශනාව වනාහි නෛර්‍ය්‍යාණික වන බැවින් අතිශයින් උතුම් වන්නේ ය යි සසර දුකින් මිදෙනු කැමති වේනෙය්‍ය පුද්ගලයන්හට ශ්‍රද්ධා භක්තිය දියුණු තියුණු වීමෙන් මෙකී සතිපට්ඨාන නය අනුව භාවනා කරනු කැමති කුසලච්ඡන්දය වූ පරිදි භාවනා කොට මාර්ග ඵල නිර්වාණ සඞ්ඛ්‍යාත විශේෂ ප්‍රතිඵල සිය සතන්හි උපදවා ගත හැකි වන්නේ ය.

“සබ්බං පි චෙතං මජ්ඣිමස්සේව නෙය්‍ය පුද්ගලස්ස වසෙන වුත්තං, තික්ඛ පඤ්ඤං පන සන්ධාය පාතො අනුසිට්ඨො සායං විසේසං අධිගමිස්සති, සායං අනුසිට්ඨො පාතො විසේසං අධිගමිස්සතීති වුත්තං” යනු අටුවා පාඨයකි.

සත් අවුරුද්දත් සත් දිනය ත් යන මේ කාල පරිච්ඡේදය ඇතුළත භාවනාවේ ප්‍රතිඵල ලැබිය හැකිය යන මේ වචනය මධ්‍යම නෙය්‍ය පුද්ගලයාගේ වශයෙන් කියන ලදී. නෙය්‍ය යනු මාර්ග ඵල ලැබීමේ ඥාන ශක්තිය ඇති ත්‍රිහේතුක පුද්ගලයා ය. ඔහු ද මන්ද පඤ්ඤ, මජ්ඣිම පඤ්ඤ, තික්ඛ පඤ්ඤ වශයෙන් තෙවැදෑරුම් වේ. තික්ඛ පඤ්ඤ පුද්ගලයා වනාහි උදෑසන භාවනාව ආරම්භ කොට සවස් වන විට මාර්ග ඵල උපදවා ගන්නේ ය. සවස භාවනා කරන්ට පටන් ගතහොත් පසුදින උදෑසන මාර්ග ඵල උපදවා ගන්නේ ය යනු ඒ අටුවා පාඨයේ අදහස යි. හීන වූ මන්ද පඤඤ නෙය්‍ය පුද්ගලයාහට භාවනාවේ ප්‍රතිඵල ලැබීමට සත් අවුරුද්දකට වඩා කල් ගත වන්නේ ය.

බෝධිරාජ කුමාර සූත්‍රයෙහි ද “ඉමෙහි පඤ්චහි පධානියගෙහි සමන්නාගතො භික්ඛු තථාගතං නායකං ලභමානො සායමනුසිට්ඨො පාතො විසෙසං අධිගමිස්සති, පාතො අනුසිට්ඨො සායං විසේසං අධිගමිස්සති” යයි වදාළ සේක.

ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු, ශ්‍රද්ධාව ඇතුළු මේ පධානියඞ්ග පසින් සමන්විත වූ යෝගාවචර තෙම; තථාගතං නායකං ලභමානො, තථාගතයන් වහන්සේ වැනි කර්මස්ථාන ආචාර්ය වරයෙක් ලබා ගනුයේ; සායං අනුසිට්ඨො, සවස සැන්දෑවෙභි කමටහන් කියා දෙන ලද්දේ; පාතො විසේසං අධිගමිස්සති, උදෑසන මාර්ග ඵල නිර්වාණ විශේෂය ලබා ගන්නේ ය.

එහි ප්‍රධානියඞ්ග පස අතුරෙන් පළමු අඞ්ගය ශ්‍රද්ධාවය, එනම් බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයෙහි සහ කර්මස්ථාන ආචාර්යවරයා කෙරෙහි ද කමටහන් අරමුණ කෙරෙහි ද සැක නො කොට ඇදහීම් වශයෙන් බලවත් විශ්වාසය උපදවා ගැනීම ය.

දෙවැනි අඞ්ගය, නිරෝගී භාව ය යි, එනම්, අනුභව කරනු ලබන ආහාරය සම සේ පැසවිය හැකි පාචකාග්නිය නිසා ලැබෙන නීරෝගී භාවයෙන් යුක්ත වීම ය.

තුන්වෙනි අඞ්ගය, අසඨ බව හෝ මාන රහිත බව ය. එනම්, තමා තුළ නැති ගුණ ප්‍රකාශ නො කිරීම හා ඇති වරදත් කර්මස්ථාන ආචාර්යයවරයාට සහ එකට වාසය කරන සබ්‍රම්සරුන්ට ද නො සඟවා ප්‍රකාශ කිරීම ය.

හතර වෙනි අඞ්ගය, දෘඪතර වීර්යයය යි. එනම්, මාගේ ශරීරයෙහි මස්, ලේ වියලෙතොත් වියලී යේ වා! සම්, නහර, ඇට පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේ වා! මාර්ග ඵල විශේෂයක් ලැබෙන තෙක් භාවනා වැඩීමේ වීර්යය නො නවත්වා වඩනෙමැ යි චතුරඞ්ග වීර්යයෙන් යුක්ත වීම ය.

පස්වෙනි අගය උදයබ්බය ඤාණය යි. එනම්, නාම, රූප ස්කන්ධයන්ගේ ඉපදීම හා බිඳීයාම පෙනෙන ඤාණ ය යි. මේ අඞ්ග පස භාවනාවේ දී අවශ්‍යයෙන් ඇති විය යුතු බැවින් පධානියඞ්ග කියනු ලැබේ.

උඩත් පිරිසෙයින් සත් අවුරුද්දය, යටත් පිරිසෙයින් සත් දවසය, යන මේ කාලය ඇතුළත මධ්‍යම නෙය්‍ය පුද්ගලයාට ද එක් රැයක් ඇතුළත, එක් දවාලක් ඇතුළත තික්ඛ නෙය්‍ය පුද්ගලයාහට ද මේ සතිපට්ඨාන භාවනාවෙන් මාර්ග ඵල උපදවා ගත හැකි ය යි සියල්ල දත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් වදාරණ ලද මේ බුද්ධ වචනය කෙරෙහි ඒකාන්ත ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව සංසාර වට්ට දුක්ඛයෙන් මිදෙනු කැමැත්තවුන් විසින්

“අද්වෙජ්ඣවචනා බුද්ධා - අමොඝවචනා ජිනා” (බුද්ධවංස පාලි)

බුද්ධා, බුදුවරයෝ; අද්වෙක්ඛවචනා, දෙගිඩියා වචන නැත්තෝ ය. ජිනා, පස්මරුන් දිනු බුදුවරු; අමෝඝවචනා, හිස් - ප්‍රලාප වචන නො කියනෝ ය; යන මේ බුද්ධ වචනය ද විශ්වාස කොට ගෙන තමා තික්ඛ පඤ්ඤා නෙය්‍ය පුද්ගලයෙක් නම් මේ සතිපට්ඨාන භාවනාවෙන් එක් රැයක් ඇතුළත හෝ එක් දවාලක් ඇතුළත මාර්ග ඵලාධිගමය කළ හැකි ය. මජ්ඣිම පඤ්ඤනෙය්‍ය පුද්ගලයෙක් නම් සුමානයෙන්, සුමාන දෙකින් මාසයෙන්, දෙමාසයෙන්, තුන් මාසයෙන්, භාර මාසයෙන්, පස් මාසයෙන්, හය මාසයෙන්, හත් මාසයෙන්, අවුරුද්දෙන්, - පෙ - සත් අවුරුද්දෙන් ද භාවනාව මුහුකුරවා ගත් හැටි හැටියට කාල සීමාව වෙනස් විය හැකි වුවත්, මධ්‍යම ප්‍රාඥ නෙය්‍ය පුද්ගලයා හට මෙකී කාල සීමාව ඇතුළත නො කඩවා භාවනා කළහොත් මාර්ග ඵල උපදවා ගත හැකි ය.

විශේෂයෙන් සිහිකළ යුත්තක්

සතිපට්ඨාන පෙළ අටුවාවන්හි එන ආනාපාන පබ්බය ආදී කොටස් එක් විස්ස අතුරෙන් එක් එක් කොටසකින්ම රහත් විය හැකි ය යි කියන ලදී.

එහෙත් එක් කොටසක් අරමුණු කොට භාවනා කිරීමෙන් ම ප්‍රතිඵල ලැබිය හැකි ය යි කියා හෝ කොටස් හුඟක් අරමුණු කොට භාවනා කිරීමෙන් ම ප්‍රතිඵල ලැබිය හැකි ය යි කියා හෝ නො කිය යුතු ය.

එහෙයින් ම කමටහන් ඉලූ උත්තිය නමැති භික්ෂුවට “චත්තාරෝ සතිපට්ඨාන භාවෙය්‍යාසි” යන ආදී වශයෙන් සතිපට්ඨාන සතර වඩන්ට ය යි බුදු රජාණන් වහන්සේ ම ඒ භික්ෂුවට සතර සතිපට්ඨානය ම කලවමට කමටහන් වශයෙන් දී වදාළ සේක. දුන් හැටියට ම භාවනාව වශයෙන් මෙනෙහි කොට ඒ උත්තිය භික්ෂුව රහත් විය.

තවද ඉරියාපථ පබ්බය ආදී එක් එක් කොටසකින්ම රහත් විය හැකි ය යි කී තන්හි ද එකී එක් එක් කොටස මූල කම්මට්ඨාන වශයෙන් ගන්නා ලද කමටහනක් ය යි කියා ම දත යුතු ය. අන්‍ය වූ කම්මට්ඨාන පබ්බයන්ට අයත් නාම රූප ධර්මයන් ප්‍රකට වුවහොත් ඒ යෝගාචරයා විසින් එසේ ප්‍රකට වූ නාම රූපයන් මෙනෙහි නොකළ යුතු ය යි නො කියන ලදී. ඉදින්, යෝගි පුද්ගලයාගේ සදොරින් එක් දොරකට හෝ ප්‍රකට

වන නාම රූප ධර්මයන් භාවනා අරමුණු වශයෙන් මෙනෙහි නො කර හැරියොත් එසේ මෙනෙහි නො කොට හැරිය නාම රූප රාසියෙහි නිත්‍ය වූ නාම රූපයෝ ය යි ද, සැප ඇති නාම රූපයෝ ය යි ද ආත්ම සාරයෙන් යුත් නාම රූපයෝ ය යි ද, සෝභන වූ නාම රූපයෝ ය යි ද ඒ නාම රූපයන් තදින් ගන්නා තණ්හා, දිට්ඨි, මෝහ ආදී කෙලෙස් රැසක් ම පහළ වන්නේ ය.

තවද මෙකල භාවනා කරන පුද්ගලයන් අතුරෙන් අසුවලාහට අසුවල් කර්මස්ථානය සුදුසු ය යි ඒකාන්ත වශයෙන් විනිශ්චය නො කළ හැකි ය. එහෙත් අත් දැකීම් වශයෙන් කායානුපස්සනාව මූලික කර්මස්ථානයකොට මෙනෙහි කළහොත් මෙකල සිටින යෝගී පුද්ගලයන්ට ගැළපෙන බව දැනගන්ට තිබේ.

භාවනා කරන යෝගී පුද්ගල තෙම තම තමන්ගේ අදහසට හෝ චරිතයට ගැළපෙන පරිදි එක් එක් අනුපස්සනා කොටසකට හෝ බොහෝ වූ අනුපස්සනා කොටස්වලට හෝ ගැළපෙන නාම රූප ධර්මයන් අත් නො හැර විදර්ශනා වශයෙන් මෙනෙහි කොට විදර්ශනා ඥාන පිළිවෙලින් මාර්ග ඵල නිර්වාණයන් ප්‍රත්‍යක්ෂ කොට සංසාර වට්ට දුක්ඛයෙන් මිදීමට වෑයම් කළ යුතු යි.

සතිපට්ඨාන විපස්සනා භාවනා නිමි.

  1. කායේ කායානුපස්සි ති එත්ථ අනුපස්සනාය කම්මට්ඨානං වුතං. ආතාපෙන සම්මප්පධානං, සතියා පටිලද්ධ සමථො, සම්පජඤ්ඤෙන විපස්සනා, අභිජ්ඣාදොමනස්ස විනයෙන භාවනා ඵලං වුත්තං - යනු අටුවා වචන ය යි. සතිග්ගහණෙන චෙත්ච සමාධිස්සාපි ගහණං දට්ඨබ්බං. යි ටීකාවෙහි කීහ.