පුණ්‍යෝපදේශය
රේරුකානේ චන්දවිමල හිමි
පටුන
පටුන

පුණ්‍යෝපදේශය

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමීපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.

මේ පොත ලියවුණු සැටි

මේ වනාහි මේ මේ කරුණු ඇතුළු කොට මේ නමින් පොතක් ලියමි යි කලින් සිතා ලියන ලද පොතක් නො වේ. මෙය ලියැවුණේ මෙසේ ය.

මහියංගන චෛත්‍ය රාජයාණන් වෙත ගොස් විශාල පූජාවක් පැවැත්වීමට සූදානම් වන සැදැහැවත් පිරිසක් මා වෙත අවුත් ඔවුන්ගේ පූජාවට සහභාගී වනු පිණිස එහි යෑමට මට ද ආරාධනා කළහ. එහි කරන්නට යන ඔවුන්ගේ පූජාව රුපියල් දහස් ගණනක වියදමින් කරන්නට යන විශාල පූජාවකි. මම ද ඔවුන්ගේ ආරාධනාව සතුටින් පිළිගතිමි. එහි ගිය පසු ගථා කියවා ඔවුන් ලවා වන්දනා කරවීම හා පූජා කරවීම මා විසින් කළ යුතුව තිබිණ.

දැනට රටේ භාවිත වන “ඉතිපිසො භගවා” යනාදී වන්දනා පාඨ ඔවුනට කිය වුව ද ඒවා නො තේරෙන බැවින් එයින් ඔවුනට ඥාන සම්ප්‍රයුක්ත කුශලයක් ඇති නො වේ. තේරුම් සහිතව ඒවා කිය වූව ද ඒ පාඨවලට ඇතුලත් වන ගැඹුරු ගුණ ඔවුනට නො වැටහෙන බැවින් එයින් ද ඔවුනට ඥාන සම්ප්‍රයුක්ත කුශලයක් ඇති නොවේ. එබැවින් ඒවා කියවා වන්දනා කරවීමට සතුටක් මට ඇති නො වීය. ඒ නිසා බුදුරදුන් කෙරෙහි පැහැදීම ඇතිවන පරිදි කීමෙන් ඥාන සම්ප්‍රයුක්ත කුශලයක් ඇති කර ගත හැකි වන පරිදි පහසුවෙන් තේරුම් ගත හැකි බුදු ගුණ ඇතුළත් කොට වන්දනා වාක්‍යයක් පිළියෙල කරන ලදී. මේ පොතේ මුලට ඇත්තේ ඒ වන්දනා වාක්‍යය ය.

පහන් පූජාව සඳහා දැනට භාවිතා වන ඝනසාරප්ප දිත්තේන යනාදි ගථාව කපුරු දල්වා පිදීම සඳහා කර ඇති ගාථාවකි. ඝනසාර කියනුයේ කපුරුවලට ය. එබැවින් ඒ ගාථාව කියවීමත් මට අප්‍රිය ය. ඒ නිසා පහන් පූජාව සඳහා අමුතුවෙන් ගථා දෙකක් රචනා කරන ලදී.

දැනට මල් පූජාව සඳහා භාවිතා කරන “වණ්ණ ගන්ධ ගුණෝ පේතං” යනාදි ගය ද මට අප්‍රිය ය. පූජා කිරීමේ හොඳම ක්‍රමය යම් කිසි බුද්ධ ගුණයක් ඉදිරිපත් කරගෙන ඒ පූජාව කිරීම ය. ඒ ගාථාවෙන් මල්වල ගුණ මිස බුදු ගුණයක් නො කියැවේ. තව ද ඒ ගාථාවෙහි “සන්තතිං” යන වචනයත් තැනට ගැළපෙන්නක් සේ නො පෙනේ. මල් පූජාවට භාවිත කරන “පූජේමි බුද්ධං කුසුමේනනෙන” යනාදි ගාථාවෙන් ද යම්කිසි බුද්ධ ගුණයක් නො කියැවේ. එහි “පුප්ඵං මිලායාති යථා ඉදං මෙ” යනාදි ගථාවේ අපරාර්ධයෙන් කියැවෙන්නේ ද තැනට අනුචිත කරුණකි. ඒ නිසා බුදු ගුණ ඇතුළු කොට මල් පූජා කිරීමේ ගාථා දෙකක් රචනා කරන ලදී.

ආහාර පූජාව සඳහා භාවිතා කෙරෙන අධිවාසෙතු නො භන්තේ යනාදි ගයත් මට කීමට ප්‍රිය නැති ගථාවෙකි. එහි එකම භෝජනය පිළිගැනීම සඳහා “අධිවාසෙතු, පතිගන්හාතු” යි වචන දෙකක් යෙදී තිබීමත්, “පරිකප්පිතං” යන වචනයත්, මේ ගාථාව ප්‍රිය නැතිවීමේ හේතුව ය. “පරිකප්පිතං” යනු තැනට ගැලපෙන අර්ථයක් දීමට දුෂ්කර වචනයක් වන බැවින් ඇතැමුන් එය හැර “අධිවාසෙතු නො භන්තේ භෝජනං පරිකප්පියං” යි ද ඇතැමුන් “අධිවාසෙතු නො භන්තේ භෝජනං උපනාමිතං” යි ද කියනු ඇසේ.

මේ ගථාව ප්‍රිය නැති බැවින් ආහාර පූජාවට ගාථා ද අළුතෙන් පිළියෙල කරන ලදී.

පැන් පූජා ගිලන්පස පූජා සුවඳ දුම් පූජා දැහැත් පූජා සඳහා ද ගාථා අළුතෙන් ම සාදන ලදී. ඒ පිරිස විශාල නෙළුම් මල් පූජාවක් හා කොඩි පූජාවක් ද කිරීමට බලාපොරොත්තු වන බව කීයෙන් නෙළුම් මල් පූජාව සඳහා ද කොඩි පූජාව සඳහා ද ගථා දෙකක් රචනා කරන ලදී. ඇතැම් පින්වතුන් විශේෂයෙන් සමන් මල් පිදීම කරන බැවින් ඒ සඳහාත්, කිරි ආහාර පුදන බැවින් ඒ සඳහාත් ගථා රචනා කරන ලදී. ඇතැම් පින්වතුන් චෛත්‍යයන්ට කප්රුක් පූජාවක් කරන බැවින් ඒ සඳහා ද ගථාවක් රචනා කරන ලදී. මහියන්ගනයට යන්නට සූදානම් වන පිරිස එහිදී අටපිරිකර කුඩ වටාපත් පාවහන් ඇඳ පුටු ආදි නොයෙක් පරිෂ්කාර බුදුනට පිදීමට බලාපොරොත්තු වන බැවින් පිරිකර පිදීමට ගථා ද පිළියෙල කරන ලදී.

දෙවියන්ට පීන් දීමට දැනට භාවිතා කරන “එත්තාවතා ච අම්හෙහි” යනාදි ගථාව දෙවියන්ට ආරාධනා කොට පිරිත් කියා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සඳහා රචිත ගථාවෙකි. එහි “එත්තවතා ච” යන වචනය යොදා තිබෙන්නේ එතෙක් පිරිත් කීම සඳහන් කිරීමට ය. මේ ගාථාව දක්නා ලැබෙන්නේ ද පිරිත් පොත්වලය. දානාදි පින්කම් කළ අවස්ථාවන්හි දෙවියන්ට පින් දීමට ඊට වඩා සුදුසු ගාථාවක් කළ හැකි බැවින්

“කතං අම්හෙහි මං පුඤ්ඤං සබ්බ සම්පත්තිසාධකං

සබ්බේ දේවානුමෝදන්තු අම්හෙ රක්ඛන්තු සබ්බදා”

යන ගාථාව පිළියෙල කෙරිණ.

දැන් මිය ගිය ඥාතීන්ට පින් පැමිනවීමට කියන “ඉදං වො ඤාතීනං හොතු සුඛිතා හොතු ඤාතයො” යන ගාථාර්ධය ද පින්දීම සඳහා විශේෂයෙන් රචනා කරන ලද්දක් නොව තිරෝකුඩ්ඪ සූත්‍රයේ ගාථාවක කොටසකි. එයින් මියගිය ඥාතින්ට පින්දීම කළ හැකි වුව ද වඩා හොඳින් ඒ කටයුත්ත කළ හැකිවීමටත්, අවිශේෂයෙන් මිය ගිය ඥාතීන්ට පින් දීමටත්, මිය ගිය මා පිය පුත්‍ර කලත්‍රාදීන්ට විශේෂයෙන් පින්දිය හැකි වීමටත් ගාථා පෙළක් පිළියෙල කරන ලදී. අනතුරුව ප්‍රාර්ථනා ගාථා හා විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ට පින් දීමට ගාථා ද පිළියෙල කරන ලදී.

මේවා පිළියෙල කළ නමුත් මට ඒ පූජාවට සහභාගී වන්නට නො ලැබිණ. පසුව ඒ ගාථා පොතක් වශයෙන් මුද්‍රනය කරවන්නට සිත් වූයෙන් බොධි වන්දනා බෝධි පූජා චෛත්‍ය වන්දනා චෛත්‍ය පූජා කිරීමට ගාථා ද සපයන ලදී. එකම ගාථාවක් කියා බෝධියට චෛත්‍යයට වැඳ බුදුනට මල් පහන් පූජා කිරීම ක්‍රමානුකූල නො වන නිසා, බෝධියට චෛත්‍යට පූජා පැවැත්වීමට ගාථා ද මෙයට එකතු කරන ලදී.

මෙකල බොහෝ බෞද්ධයෝ සීවලී පූජාව කරති. එයට විශේෂ ගාථා පිළියෙල වී නැති බැවින් බොහෝ දෙනා බුදුරදුන්ට මල් පහන් ආදිය පුදන ගාථා කියා සීවලී පූජාව කරති. එය තේරුමක් නැති වැඩක් බැවින් සීවලී පූජාව කරනුවන්ට එය ක්‍රමානුකූලව කළ හැකි වනු පිණිස එය සඳහා ගාථා පෙළක් ද මෙයට ඇතුළු කරන ලදී.

ගාථා සම්පූර්ණ කිරීමන් පසු තවත් අදහසක් පහළ විය. එනම් මෙකල බෞද්ධයන් බෙහෙවින් කරන්නේ වන්දනාව හා පූජාවය. ගතානුගතිකව බොහෝ දෙනා ඒ දෙක කරන නමුත් ඒ කරන දෙය මහත් ඵල වන පරිදි කරන්නට නො දනිති. ඔවුනට ඒවා ගැන සෑහෙන දැනුමක් ඇති කර ගත හැකි වන පරිදි වන්දනා පූජා කිරීම ගැන හා වැඳුම් පිදුම් කළ යුතු වස්තු ගැනත් ඒවායේ අනුසස් ගැනත් විස්තරයක් ලිවීමය. අදහස පහළ වූ පරිදි එය ද කරන ලදී. එයින් ලිපිය තරමක පොතකට සෑහෙන තරම් විය.

ඇතැම්හු ලස්සන ගාථා මිහිරි හඬින් කියා වඳින්නට කැමැත්තෝ ය. ඔවුන් සඳහා හොඳින් කිය හැකි පැරණි ගත් කරුවන් කීප දෙනෙකුගේ රත්නත්‍රය වන්දනා ගාථා ද මෙයට එකතු කරන ලදී.

මේ බුද්ධ වන්දනාව විද්‍යානුකූලව කිරීමෙන් පරලොවදී ලබන අනුසස් ම නොව මෙලොවදී නොයෙක් ආකාර අනුසස් ලබා ගත හැකි ය. මෙලොවදී යම් යම් දේ ලබාගත හැකි වන්දනා ක්‍රම කීපයක් ද මෙයට එකතු කිරීමේ අදහස පහළ වීමෙන් එය ද කරන ලදී.

ඒ වන්දනා ක්‍රම භාවිත කරත හොත් ඒවායින් නොයෙක් ප්‍රයෝජන ලබා ගත හැකි වනු ඇත. අනතුරුව යෝගාවචරයනට සුදුසු යෝග සිද්ධියට ඉවහල් වන වන්දනා ක්‍රමයක් ද දක්වා ඇත. භාවිත කරත් හොත් එයින් යෝගාවචරයනට බොහෝ ප්‍රයෝජන වනු ඇත.

බෞද්ධයෝ රෝග සුව කර ගැනීම්, අමනුෂ්‍ය භය දුරු කර ගැනීම්, ග්‍රහ අපල දුරු කර ගැනීම් ආදී කරුණු පිරිතෙන් සිදු කර ගැනීමට බලාපොරොත්තු වෙති. ඔවුනට ඒවා සිදු කර ගත හැකි වනු සඳහා පිරිත් හා ඒවායින් ප්‍රයෝජන ලැබිය හැකි වීමට දත යුතු කරුණුත්, තවත් නොයෙක් ප්‍රයෝජන ලැබිය හැකි ගාථාත්, බෞද්ධයන් භාවිත කරන යන්ත්‍ර කීපයකුත් මේ ග්‍රන්ථයට ඇතුළු කර ඇත.

පින උසස් පහත් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නො හොඳකම් අනුවය. තුනුරුවන් ගැන දැනුමක් නැතිව වැඳුම් පිදුම් කළ යුතු වස්තු ගැන වැඳුම් පිදුම් කළ යුතු ආකාරය ගැන ඒවායේ අනුසස් ගැන හරි දැනුමක් නැතිව ගතානුගතිකව වැඳුම් පිදුම් කරනුවන්ට එයින් උසස් පිනක් නො ලැබිය හැකි ය. උසස් පිනක් ලැබිය හැකි වන්නේ ඒවා ගැන දැනුම ඇතිව ක්‍රමානුකූලව එය කරන තැනැත්තාට ය. මේ පොත කියවීමෙන් ඒ දැනුම ඇති කර ගෙන ක්‍රමානුකූලව මහත් ඵල වන පරිදි වැඳුම් පිදුම් කර ගත හැකි වනු ඇත. මේ ගැන තමන්ට දැනුමක් නැති බව බොහෝ දෙනා නො දනිති. මේ පොත කියවුව හොත් ඔබට ඔබේ දැනීමේ අඩු පාඩුකම් දැනෙනවා ඇත. ඒවා සම්පූර්ණ ද කරගත හැකිවනු ඇත.

සකල සත්ත්වයෝ සුවපත් වෙත්වා !!

මෙයට - ශාසනස්ථිකාමී,

රේරුකාණේ චන්දවිමල මහා ස්ථවීර

26.10.1962 පොකුණුවිට, ශ්‍රී විනයලංකාරාරාමයේ දී ය.

තෙරුවන් වැඳීම

සසර සැරිසරන අසරණ සත්ත්ව සමූහයාට පිහිට වන මහා කාරුණික වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස,

චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අතිදීර්ඝ කාලය මුළුල්ලෙහි දාන පාරමිතාය. ශීල පාරමිතාය, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාය, ප්‍රඥා පාරමිතාය, වීර්යය පාරමිතාය, ක්ෂාන්ති පාරමිතාය, සත්‍ය පාරමිතාය, අධිෂ්ඨාන පාරමිතාය, මෛත්‍රී පාරමිතාය, උපේක්ෂා පාරමිතාය, යන දශ පාරමී ධර්මයන් සපුරා චතුස්සත්‍යාවබෝධ කොට පස්මරුන් පරදවා සර්වඥපදප්‍රාප්ත වූ නුඹ වහන්සේ සීලයෙන් ද, සමාධියෙන් ද, ප්‍රඥාවෙන් ද, සෘද්ධියෙන් ද, යසසින් ද ලෝකයෙහි අග්‍ර වන සේක. නුඹ වහන්සේ වැඩ සිටි තැනට පා තැබූ තැනට පවා රජහු ද දෙවි බඹහු ද නමස්කාර කරන්නාහ.

මහාකාරුණිකයන් වහන්ස, නුඹ වහන්සේගේ කරුණා ගුණය ඉතා ආශ්චර්ය ය. ලොවුතුරා බුදු ව අසරණ සත්ත්වයනට පිහිට වනු සඳහා දාන පාරමිතාව පිරූ නුඹ වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ මේ දීර්ඝ කාලයෙහි නුදුන් දනක් නැත. නුඹ වහන්සේ දුන් දාන වස්තු සම්භාරයට උපමා කිරීමට මහමෙර මිටිය, මහපොළොව කුඩාය, පොළොවේ වැලි කැට මඳය, සාගර ජලය මදය, නුඹ වහන්සේ දුන් වස්තු සම්භාරයට උපමා නැත. නුඹ වහන්සේ අනේක වාරයන්හි සකල සම්පත්තියෙන් පරිපූර්ණ මහා රාජ්‍යයන් දුන් සේක. ප්‍රාණය සේ ප්‍රිය අඹු දරුවන් දුන් සේක. සිය සිරුරෙන් ලේ වගුරුවා දුන් සේක. හදවත උපුටා දුන් සේක. නෙත් උපුටා දුන් සේක. හිස් කපා දුන් සේක. නුඹ වහන්සේගේ කරුණාවට උපමා නැත. කෝටියක් මවුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණාව එක් පිණ්ඩයක් කළ ද නුඹ වහන්සේගේ කරුණාවට උපමා නො කළ හැකිය.

අසරණ සරණ භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ බොහෝ සත්ත්වයනට පිහිට වන සේක. නුඹ වහන්සේ බොහෝ සත්ත්වයන් අපායෙන් මුදවන සේක. සසර දුකින් මුදවන සේක. බොහෝ සත්ත්වයනට දෙව් මිනිස් සැප ලබා දෙන සේක. නිවන් සැප ලබා දෙන සේක. නුඹ වහන්සේ බරණැස ඉසිපතනයේ දී දම්සක් පැවැත්වීමෙන් අටළොස් කෙළක් දෙව් බඹුන් නිවන් දැක්වූ සේක. තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවෙන් සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. සුමනමාලාකාර සමාගමයේදී සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ධනපාල සමාගමයේදි දසදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ඛ්දිරංගාරජාතක සමාගමයේදී සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ජම්බුකාජීව සමාගමයේදි සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ආනන්දසෙට්ඨි සමාගමයේදි සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. පාරායන සූත්‍ර දේශනයේදී තුදුස් කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. යමක ප්‍රාතිහාර්‍යයේදි විසි කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. දේවෝරෝහණයේදී තිස් කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. අභිධර්ම දේශනයේදී අසූකෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. සක්කපඤ්හ සූත්‍ර දේශනයේදී අසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. මහාසමය සූත්‍ර මංගල සූත්‍ර චූලරාහුලෝවාද සූත්‍ර දේශනාවලදී අප්‍රමාණ සත්ත්වයන් නිවන් දැක්වූ සේක.

මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්ස, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසූ අනුව්‍යංජන ලක්ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන් ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ නුඹ වහන්සේ රූපසෞන්දර්යයෙන් ද ලෝකයෙහි අග්‍ර වූ සේක.

අෂ්ටාංගසමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දාම් දෙසන්නා වූ නුඹ වහන්සේ වචන විලාසයෙන් ද ලෝකයෙහි අග්‍ර වූ සේක.

සර්වඥතාඥාන දශබලඥාන චතුර්වෛශාරද්‍යඥාන ෂඩ් අසාධාරණඥාන චතුර්යෝනි පරිච්ඡේදඥාන පඤ්චගති පරිච්ඡේදඥාන චතුර්දශබුද්ධඥාන ප්‍රතිසම්භිදාඥානාදි අනේක ඥානයන්ගෙන් ආඪ්‍ය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මනුෂ්‍ය දිව්‍ය-බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සියල්ලන් විසින් දත් සියල්ල නුඹ වහන්සේ දත් සේක. ඔවුන්ගේ සිත් ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ චරිත නුඹ වහන්සේ මැනවින් දත් සේක. අතීතයෙහි වූ සියල්ල ද අනාගතයට වන සියල්ල ද වර්තමානයෙහි ඇති සියල්ල ද නුඹ වහන්සේ මැනවින් දන්නා සේක. නුඹ වහන්සේ විසින් නො දත හැකි ධර්මයක් නැත.

දෝත නඟා වඳින්නහුට පවා නොයෙක් දෙව් මිනිස් සැප ලබාදීමට සමත් අචින්තනීය අප්‍රමේය ගුණස්කන්ධයක් ඇති මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්ස, නුඹ වහන්සේ පිළිසරණ කරගන්නට ලැබූ මම ද පිනැතියෙමි.

අසරණ සරණ වූ භාග්‍යවතුන් වහන්ස,මම දිවි හිමි කොට නුඹ වහන්සේ සරණ යෙමි. මම නුඹ වහන්සේ ගෙ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නය ද සරණ යෙමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර ආර්ය සංඝ රත්නය ද සරණ යෙමි.

දෙවි බඹුන් විසිනුදු බැතියෙන් නමදින නුඹ වහන්සේගේ පාද පද්මය බැතියෙන් වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නයට ද වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර මහා සංඝ රත්නයට ද වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි.

බුදුරදුන්ගේ අනේක ගුණ දැක්වෙන ඉහත දැක්වූ වාක්‍යය පාඩම් කර එය කියා වන්දනා කරන්නා වූ සැදැහැවතුනට එක් එක් වරක් වැඳීමේදී ම සසර බොහෝ සැප සම්පත් ලබා දෙන ඥාන සම්ප්‍රයුක්ත පුණ්‍යස්කන්ධයක් ඇති වනු ඇත. ‘ඉතිපි සො භගවා’ යනාදීන් තමාට නො තේරෙන දේ කියා වඳින්නවුන්ට ඇති වන්නේ මඳ විපාක ඇති ඥානවිප්‍රයුක්ත කුසල් ය. දිග නිසා මේ වැකිය නිතර භාවිත කිරීම අපහසු සැදැහැවතුන් මතු දැක්වෙන කෙටි වන්දනා වාක්‍යය භාවිත කළ යුතුය.

තෙරුවන් වැඳීමේ කෙටි ක්‍රමය

‘ස්වාමිනි! භාග්‍යවත් බුදු රජාණන් වහන්ස, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසු අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් ද කේතුමාලාවෙන් හා ව්‍යාමප්‍රභාවෙන් ද නීල පීතාදී ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් ද බැබලෙමින් වැඩ සිටින්නා වූ නුඹ වහන්සේ චතුර සංඛ්‍යකල්පලක්ෂයක් මුළුල්ලෙහි රැස්කළ පාරමිතා කුශල බලයෙන් ලත් අර්හත් මාර්ගඥාන නැමැති ජලයෙන්, තුබු බවට ලකුණ කුදු ඉතිරි නොවන පරිදි සියලු කෙලෙස් කිලුටු සෝදා හැර පවිත්‍ර වූ සේක. මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දෝත නඟා වඳින්නහුට අපමණ දෙව් මිනිස් සැප ලබා දීමට සමත් සුපරිසුද්ධ ශීලස්කන්ධයකින් හා අචල සමාධියන් ද සර්වඥතාඥාන, දශබලඥාන, චතුර්වෛශාරධ්‍යඥාන, ප්‍රතිසම්භිදාඥානාදි අනේක ඥානයන්ගෙන් ද යුක්ත වන සේක. අපා මඟ වසා සඟමොක් මඟ පාදා සත්ත්වයනට සෙත් කරන්නා වූ මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ තුන්ලොවට සුරතුරක් වන සේක. සිව්සස් දහම් දෙසා දෙව්මිනිසුන් තුළ පවත්නා මොහඳුරු දුරුකරන්නා වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලොවට ප්‍රදීපයක් වන සේක. තුන් ලොවට ඇසක් වන සේක. මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම අසරණයන්ට සරණ වන නුඹ වහන්සේ සරණ යෙමි. නුඹ වහන්සේ ගේ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ ගේ පා පියුම් බැතියෙන් වඳිමි.

ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ අති පරිසුද්ධ අත්‍යුත්තම ධර්මරත්නයට ද වඳිමි. ඒ උත්තම ධර්මය සේවනය කරන්නා වූ ජනයාට පවසන්නා වූ මහා සංඝරත්නයටද වඳිමි.

මෙසේ ස්තුති පූජා පූර්වකව තෙරුවන් වැඳ මතු දැක්වෙන ගථා තේරුමත් සමඟ කියා මල් පහන් ආදිය පුදනු.

පහන් පූජාව

“වෙනෙ‍ය හදයෙ මොහ - තමොක්ඛන්ධ විනොදකං

දීපනෙතෙන පූජෙමි - පඤ්ඤාදීපධරං ජිනං

-

ඉමිනා පුඤ්ඤකම්මෙන - පඤ්ඤවා සීලවා සදා

භවිත්වාන ලභෙ සීලං - ධම්මචක්ඛුං අනුත්තරං”

වේනෙ‍ය ජනයන්ගේ හෘදයෙහි මෝහ නැමැති අන්ධකාරස්කන්ධය දුරුකරන්නා වූ “ප්‍රඥා” නැමැති ප්‍රදීපය දරන්නා වූ පස්මරුන් දිනූ තථාගතයන් වහන්සේ මේ ප්‍රදීපයෙන් පුදමි.

මේ පින්කමින් මම සෑම කල්හි නුවණැත්තකු වී සිල්වතෙකු වී අනුත්තර ධම්මචක්ෂුස වූ අර්හත්මාර්ග ඥානය වහා ලබන්නෙම්වා!

මල් පූජාව

අනන්ත ගුණවණ්ණස්ස - සුද්ධසීලසුගන්ධිනො

පූජෙමි ලොකනාථස්ස -පුප්ඵමෙතං මනොරමං

-

ඉමිනා පුඤ්ඤකම්මේන - භවිත්වා සීලවා සදා

පප්පොමි පරමං සන්තිං - නිබ්බානං බුද්ධවණ්ණිතං

අන්නත ගුණවර්ණ ඇත්තා වූ පවිත්‍ර වූ සිල්සුවඳ ඇත්තා වූ ලෝකනාථයන් වහන්සේට මේ මනරම් මල් පූජා කරමි. මේ පින්කමින් සෑම කල්හි සිල් ඇත්තේ වී බුදුන් වහන්සේ විසින් වර්ණන කරන ලද පරම ශාන්තිය වූ නිර්වාණයට පැමිණෙම්වා!

පැන් පූජාව

ධම්මොදකෙන සත්තානං - පාපමල විසොධකං

පානීයෙනාහි පූජෙමි - ලොකනාථං දයාලයං

ධර්මය නමැති පවිත්‍ර ජලයෙන් සත්ත්වයන්ගේ පව් සෝදා හරින්නා වූ කරුණාවට වාසස්ථාන වූ ලෝකනාථයන් වහන්සේට මේ පැන් පූජා කරමි. පූජා වේවා. මේ පිනෙන් සකල ක්ලේශමල ශෝධනය කරන්නා වූ සියළු දුක් ගිනි නිවන්නා වූ අර්හත් මාර්ග ඥානය වහා ලබන්නෙම්වා!

ගිලන්පස පූජාව

තිදොස සමනං දෙහ - බලදං ආයුවඩ්ඪනං

ගිලානපච්චයං එතං - පණීතං මධුරං සුචිං

-

මහාදයස්ස පූජෙමි - කිලෙසාමයහරිනො

පුඤ්ඤෙනෙතෙන පප්පොමි - සබ්බසඤ්ඤොජනක්ඛයං

වා - පිත් - සෙම් යන තුන් දොස් සමනය කරන්නා වූ බල වඩන්නා වූ ආයු වඩන්නා වූ පවිත්‍ර වූ ප්‍රණීත වූ සුමිහිරි වූ මේ ගිලන්පස සත්ත්වයන්ගේ කෙලෙස්මල දුරු කරන්නා වූ මහා කාරුණිකයන් වහන්සේට පූජා කරමි. පූජා වේවා. මේ පිනෙන් සකල සංයෝජනයන් ක්ෂය කරන්නා වූ අර්හත් මාර්ගයට පැමිණෙම්වා!

දැහැත් පූජාව

යථාවාදී තථාකාරී - ධම්මවාදී මහායසො

තාම්බූලං පතිගන්හාතු - සත්ථා ලොකෙ අනුත්තරො

වෙනසක් නො කොට කියන පරිදි ම කරන්නා වූ ධර්මය පවසන්නා වූ මහත් යසස් ඇත්තා වූ ලොව්කයෙහි සැමට ම උතුම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ තාම්බූලය පිළිගන්නා සේක්වා!

සුවඳ දුම් පූජාව

දෙසෙත්වා පවරං ධම්මං - පාපාමගන්ධ නාසකං

සුගන්ධිනා’හං ගන්ධෙන - පූජේමි ලොකනායකං

උත්තම වූ ධර්මයක් දේශනය කොට ලෝකයෙහි පව් නමැති දුගඳ දුරු කරන්නා වූ ලෝකනායකයන් වහන්සේට මේ සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා.

නෙළුම් මල් පූජාව

ජන්ම්බුජෙ පබොධෙත්තං - සද්ධම්මසිසිරංසුනා,

කමලානන සම්බුද්ධං - පූජෙමි පදුමෙන’හං

සද්ධර්ම නැමැති ශීත රශ්මියෙන් වේනෙය්ජන නැමැති පද්මයන් ප්‍රබෝධ කරන්නා වූ පියුමකට බඳු මුව ඇත්තා වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට මේ නෙළුම් මල් පූජා කරමි. පූජා වේවා!

සමන් මල් පූජාව

සවාසනාකිලෙසෙහි - විමුත්තං සුමනං ජිනං

සුමනපුප්ඵෙහි පූජෙමි - පත්තුං නිබ්බානමුත්තමං

වාසනාවත් සහිතව කෙලෙසුන් කෙරෙන් මැනවින් මිදුණා වූ සුන්දර සිත් ඇත්තා වූ ජිනයන් වහන්සේට මේ සමන් මල් පුදමි. පූජා වේවා!

කොඩි පූජාව

ධම්මද්ධජධරං ධීරං - ධජුග්ගත මහායසං

ධජනෙතෙන පූජෙමි - ධම්මරාජං ධජූපමං

ධර්මය නැමැති ධ්වජය දරන්නා වූ නුවණැත්තා වූ ධ්වජයක් සේ මහා කීර්තිය ඇත්තා වූ ධ්වජයක් බඳු උපමා ඇත්තා වූ ධර්මරාජයන් වහන්සේට මේ ධ්වජය පූජා කරමි. පූජා වේවා!

ආහාර පූජාව

ආහාර පූජා කිරීමේදී බත්- මාළු, කැවිලි-පලතුරු, කිරි-පැණි ආදී දේවල් ගැන වෙන වෙන ම ගාථා කීම අවුල් වැඩෙකි. ආහාර වන බත් මාළු ආදී සියල්ලම ආහාර වශයෙන් එක් කොට සලකා එක ගාථාවක් කියා එකවර ම පූජා කළ හැකි ය. එසේ පූජා කිරීම නිරවුල් ක්‍රමයයි. මෙසේ ආහාර පූජාව කරනු.

සද්ධම්මාමතදානෙන - සුඛාපෙන්තං බහුජ්ජනෙ,

මහාකාරුණිකං බුද්ධං - පූජෙමි ආහාරෙන’හං.

-

ඉමිනා පුඤ්ඤ කම්මෙන - සම්මාසම්බුද්ධවණ්ණිතං,

ලභෙයං සස්සතං සන්තං - නිබ්බාන සුඛමුත්තමං

සද්ධර්මාමෘතදානයෙන් බොහෝ ජනයා සුවපත් කරන්නා වූ මහා කරුණික වූ බුදුරජාණන් වහන්සේට මේ ආහාරය පූජා කරමි. පූජා වේවා! මේ පින්කමින් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දා වූ නිත්‍ය වූ ශාන්ත වූ උත්තම නිර්වාණ සුවය ලබන්නෙම්වා!

කිරි පිඬු පූජාව

සද්ධම්මාමත ඛීරෙන - තොසයන්තං බහුජ්ජනෙ,

මාතුපමං ලොකනාථං - බීරොදනෙන පූජයෙ.

සද්ධර්මය නැමැති අමෘත ක්ෂීරයෙන් බොහෝ ජනයා සතුටු කරන්නා වූ ලොවට මවක් වැනි වූ ලොකනාථයන් වහන්සේට මේ ක්ෂීරාහාරය පූජා කරමි. පූජා වේවා!

චෛත්‍ය වන්දනාව

චෛත්‍යයට හෙවත් දාගැබට වැඳීම දෙයාකාරයකින් කළ හැකි ය. චෛත්‍යවල තථාගතයන් වහන්සේගේ ශාරිරික ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඇත්තේය. තථාගත ශරීරයේ කොටස් වන ඒ ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ලෙස ම සලකා ඒවා ඇති චෛත්‍යයට බුදුන් වහන්සේට වඳින ලෙස ම වැඳිය හැකිය. පිදිය හැකි ය. ඒ එක් ක්‍රමයකි. එසේ වඳින කල්හි බුදුරදුන්ට වඳින ගාථා කියා වැඳිය යුතු ය. පූජනීය වස්තූන් පිහිටුවා කළ චෛත්‍යය ම පූජනීය වස්තුවකි. එබැවින් චෛත්‍යයට ම වැඳීම එක් ක්‍රමයකි. එසේ වඳින තැනැත්තා විසින් චෛත්‍ය වන්දනා ගාථා කියා වැඳිය යුතු ය. ඒ ඒ චෛත්‍යවලට වැඳීමට වෙන් වෙන් වූ ගාථා ඇත්තේ ය. රටේ චෛත්‍යයෝ බොහෝ ය. ඒ ඒ චෛත්‍යවලට වෙන් වෙන් වශයෙන් ගාථා කියා වඳින්නට යත හොත් ගාථා පාඩම් කොට ඉවරයක් නො කළ හැකිය. එය දුෂ්කර කාර්යයකි. ඒ නිසා කවර චෛත්‍යකට වුව ද කියා වැඳීමට සුදුසු ගාථාවක් දක්වනු ලැබේ. මේ ගාථාව කියා චෛත්‍යය වඳිනු.

සබ්බපාප විසුද්ධස්ස - අනන්තගුණ ධාරිනො,

නමාමි ලොකනාථස්ස - සාදරං ධාතු චෙතියං.

සකල පාප මලයෙන් පවිත්‍ර වූ අනන්ත ගුණ දරන්නා වූ ලොකනාථයන් වහන්සේගේ ධාතු චෛත්‍යය සාදරයෙන් වඳිමි.

චෛත්‍යයට මල් පිදීම

අනන්තගුණවන්නස්ස -සුද්ධසීල සුගන්ධිනො

චෙතියං ලොකනාථස්ස - පුප්ඵෙනෙතෙන පූජයෙ

අනන්ත ගුණ නැමැති වර්ණය ඇත්තා වූ ශුද්ධ වූ ශීලසුගන්ධය ඇත්තා වූ ලොකනාථයන් වහන්සේ ගේ චෛත්‍යයට මේ මල් පුදමි. පූජා වේවා!

චෛත්‍යයට පහන් පිදීම

ඔභාසිතස්සිමං ලොකං - සද්ධම්මවර රංසියා,

දීපනෙතෙන පූජෙමි - ධම්මරාජස්ස චේතියං.

සද්ධර්ම සංඛ්‍යාත උත්තම රශ්මියෙන් මේ ලෝකය ආලොක කළා වූ ධර්මරාජයන් වහන්සේ ගේ චෛත්‍යයට මේ පහන් පූජා කරමි. පූජා වෙවා.

චෛත්‍යයට කොඩි පුජා කිරීමේදි මේ ගාථාව මෙසේ වෙනස් කර කියනු.

ඔභාසිතස්සිමං ලොකං - සද්ධම්මවර රංසියා,

ධජනෙතෙන පූජෙමි - ධම්මරාජස්ස චේතියං.

සුවඳ දුම් පිදීමේදී මෙසේ කියනු.

ඔභාසිතස්සිමං ලොකං - සද්ධම්මවර රංසියා,

ධුපනෙතෙන පූජෙමි - ධම්මරාජස්ස චේතියං.

දන්ත ධාතුන් වහන්සේ වැඳීම

චතුසච්චං පාසෙත්වා - සංසාරෝඝා මහබ්භයා,

සන්තාරෙසි බහූ සත්තේ - මහා කාරුණිකො ජිනො

-

වදනෙ තස්ස සඤ්ජාතං - සත්ථුනො සච්චවාදිනො,

ලද්ධසද්ධම්මසම්ඵස්සං - දාඨාධාතු නමාමි’හං

මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කොට බොහෝ සත්ත්වයන් භයානක වූ සංසාර නැමැති මහෝඝයෙන් එතෙර කළ සේක. සත්‍යවාදී වූ ඒ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙහි පහළ වූ සද්ධර්මයේ ස්පර්ශය ලැබූ දාඨාධාතුන් වහන්සේ නමදිමි.

දන්තධාතුන් වහන්සේ තථාගත ශරීරයේ කොටසක් බැවින් එය බුදුරදුන් ලෙස ම සලකා බුද්ධවන්දනා බුද්ධ පූජා කරන ගාථා කියා දාඨා ධාතුන් වහන්සේට වැඳුම් පිඳුම් කිරීම ද සුදුසු ය.

ශ්‍රී පාද වන්දනාව

තථාගතයන් වහන්සේගේ පා සටහනට බෞද්ධයෝ “ශ්‍රී පාදය” යි ව්‍යවහාර කෙරෙති. එය උද්දේශික චෛත්‍යයට අයත් ය. මේ ගාථාව කියා ශ්‍රී පාදය වඳිනු.

ජනානං වන්දමානානං - පත්ථානං සාධකං වරං,

තථාගතපදං වන්දෙ - දෙවින්දෙහි’පි වන්දිතං.

වඳින ජනයාගේ ඒ ඒ ප්‍රාර්ථනාවන් සිදු කරන්නා වූ දේවේන්ද්‍රයන් විසිනුදු වඳින්නා වූ උත්තම වූ තථාගතයන් වහන්සේ ගේ පා සටහන වඳිමි.

ශ්‍රී පාදයට මල් පිදීම

ජනානං පූජමානානං - ධුවං පණිධි සාධනං,

පුප්ඵෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං

පූජා පවත්වන ජනයා ගේ ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් සිදු කරන්නා වූ උත්තම වූ තථාගතයන් වහන්සේ ගේ පා සටහනට මේ මල් පූජා කරමි. පූජා වේවා!

ශ්‍රී පාදයට පහන් පිදීම

ජනානං පූජමානානං - ධුවං පණිධි සාධනං,

දීපෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං

ශ්‍රී පාදයට වස්ත්‍ර පිදීම

ජනානං පූජමානානං - ධුවං පණිධි සාධනං,

වත්ථෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං.

ශ්‍රී පාදයට සුවඳ දුම් පිදීම

ජනානං පූජමානානං - ධුවං පණිධි සාධනං,

ධූපෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං.

ශ්‍රී පාදයට කොඩි පිදීම

ජනානං වන්දමානානං - ධුවං පණිධි සාධනං,

ධජෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං.

බෝධි පූජාව

තථාගතයන් වහන්සේ බෝධි මූලයේ ලොවුතුරා බුදුබවට පැමිණ නොයෙක් සමවත්සුව විඳිමින් සතියක් මුළුල්ලෙහි එහි ම වැඩහුන් සේක. පරම වන්දනීය පූජනීය වූ ලොකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් සේවනය කරනු ලැබීමෙන් බෝරුක ද වන්දනීය පූජනීය වස්තුවක් විය. ඒ බෝධියෙන් පැවත එන්නා වූ සියළු බෝධි වෘක්ෂයෝ ද එයින් පැවතෙන නිසා පූජනීය වස්තුහු වෙති. තථාගතයන් වහන්සේ සේවනය කළ ශ්‍රී මහා බොධින් වහන්සේගේ පරම්පරාවට අයත් වන කිනම් බෝධියක් වුව ද ඒ බෝධින් වහන්සේගෙන් පැවතෙන බැවින් ශ්‍රී මහා බෝධිය වශයෙන් සලකා ඒවාට වැඳුම් පිඳුම් කළ යුතුය. බෝධිය පාරිභෝගික චෛත්‍ය කොට්ඨාශයට අයත් වස්තුවකි.

බෝධි වන්දනාවට ගාථාවක්

සෙවිතං ධම්ම රාජෙන - නරදෙවෙහි පූජිතං

වන්දාමි බෝධි රාජානං - නිබ්බානසුඛදායකං

ධර්මරාජයාණන් වහන්සේ විසින් සේවනය කරන ලද්දා වූ දෙව් මිනිසුන් විසින් පුදනු ලබන්නා වූ, වඳින් පුදන ජනයාට නිවන් සුවය දෙන්නා වූ බෝධි රාජයාණන් වහන්සේ වඳිමි.

පැරණි බෝධි වන්දනා ගාථා

යස්ස මූලෙ නිසින්නොව - සබ්බාරි විජයං අකා

පත්තො සබ්බඤ්ඤුතං සත්ථා - වන්දෙ තං බොධිපාදපං

-

ඉන්දනීලවණ්ණපත්ත සේතඛන්ධභාසුරං

සත්ථු නෙත්ත පංකජාහි පූජිතග්ගසාතදං

අග්ගබෝධි නාමවාම දේවරුක්ඛ වණ්ණිතං

තං විසාල බෝධිපාදපං නමාමි සබ්බදා

බෝධින් වහන්සේට මල් පිදීම

සෙවිතං ධම්ම රාජෙන - පත්තුං සම්බෝධි මුත්තමං

පූජෙමි බෝධි රාජානං - පුප්ඵෙනෙතෙන සාදරං

ධර්මරාජයාණන් වහන්සේ විසින් සම්‍යක්සම්බෝධියට පැමිණීම සඳහා සේවනය කරන ලද්දා වූ බෝධි රාජයන් වහන්සේට මේ මල් සාදරයෙන් පූජා කරමි. පූජා වේවා!

බෝධින් වහන්සේට පහන් පිදීම

සෙවිතං ධම්ම රාජෙන - පත්තුං සම්බෝධි මුත්තමං

පූජෙමි බෝධි රාජානං - දීපෙනෙතෙන සාදරං

බෝධින් වහන්සේට සුවඳ දුම් පිදීම

සෙවිතං ධම්ම රාජෙන - පත්තුං සම්බෝධි මුත්තමං

පූජෙමි බෝධි රාජානං - ධූපෙනෙතෙන සාදරං

බෝධින් වහන්සේට පැන් පිදීම

සෙවිතං ධම්ම රාජෙන - පත්තුං සම්බෝධි මුත්තමං

පූජෙමි බෝධි රාජානං - උදකෙනෙතෙන සාදරං

කප්රුක් පූජාව

ඇතැම් සැදැහැවත්හු කප්රුක් තනා පූජා කරති. එසේ කරන කල්හි මේ ගාථාව කියා බුදුරදුන්ට කප්රුක පූජා කරනු.

සබ්බසම්පත්තිදාතාරං - සබ්බලෝකහිතං වරං

කප්පරුක්ඛෙන පූජෙමි - කප්පරුක්ඛුපමං ජිනං

සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා දෙන්නා වූ සකල ලෝකයාට හිත වූ උත්තම කප්රුකක් වැනි වූ ජිනේන්ද්‍රයන් වහන්සේට මේ කප්රුක පූජා කරමි. පූජා වේවා!

පිරිකර පූජාව

සමත්ථං අප්පකාරංපි - කරණේ විපුලප්ඵලං

පරික්ඛාරෙන පුජෙමි - අචින්තෙ‍ය ගුණං ජිනං

සැදැහැයෙන් කරන දෝත නඟා වැඳීම් සුළු පින්කම් පවා මහත්ඵල කිරීමෙහි සමත් අචින්තනීය ගුණ ඇති තථාගතයන් වහන්සේට මේ පිරිකර පූජා කරමි. පූජා වේවා!

පාත්‍ර සිවුරු වටාපත් කුඩ පාවහන් ආදී යම්කිසි වස්තුවක් බුදුනට පුදන සැදැහැවතුන් ඉහත කී ගාථාව කියා ඒ වස්තුව පූජා කරනු. කිනම් දෙයක් හෝ පූජා කිරීමේදී කීමට සුදුසු තවත් ගාථාවක් මෙසේය.

බ්‍රහ්මදෙවනරින්දෙහි - වන්දිතො පූජිතො සදා,

පූජං මෙ පටිගණ්හාතු - පූජාරහො මහාමුනි.

බ්‍රහ්මේන්ද්‍ර දේවේන්ද්‍ර මනුජේන්ද්‍රයන් විසින් සෑම කල්හි වඳින ලද්දා වූ පුදන ලද්දා වූ පූජාර්හ වූ මහා මුනින්ද්‍රයන් වහන්සේ මාගේ මේ පූජාව පිළිගෙන වදාරන සේක්වා!

දෙවියන්ට පින් දීම

කතං අම්හෙහි’මං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං,

සබ්බේ දෙවානුමොදන්තු - අම්හෙ රක්ඛන්තු සබ්බදා.

අප විසින් කළ සකලසම්පත් සාධනය කරන මේ පින සියළු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැමකල්හි අප ආරක්ෂා කෙරෙත්වා!

මිය ගිය ඥාතීන්ට පින් දීම

කතං අම්හෙහි’මං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං,

ඤාතයෝ අනුමොදන්තු - පරලොකමිතො ගතා.

අප විසින් කරන ලද සකලසම්පත් සිදු කරන්නා වූ මේ පින පරලොව ගියා වූ අපගේ ඥාතීහු අනුමෝදන් වෙත්වා!

සකල සත්ත්වයන්ට පින් දීම

කතං අම්හෙහි’මං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං,

සබ්බේ සත්තානුමෝදන්තු - සුඛිතා හොන්තු තෙ සදා

මියගිය මෑණියන්ට පින් දීම

කතං මයා ඉමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං,

මාතා මෙ අනුමොදතු - පරලොකමිතො ගතා.

මා විසින් කළ සකලසම්පත් ලබා දෙන මේ පින පරලොව ගියා වූ මාගේ ආදර මෑණියෝ අනුමෝදන් වෙත්වා. මේ පිනෙන් මෑණියෝ සුවපත් වෙත්වා!

මියගිය පියාණන්ට පින් දීම

කතං මයා ඉමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං

පිතා මෙ අනුමොදතු - පරලොකමිතො ගතා

මියගිය සහෝදරයාට පින් දීම

කතං මයා ඉමං පුඤ්ඤං -සබ්බසම්පත්ති සාධකං,

භාතා මෙ අනුමොදතු - පරලොකමිතො ගතො.

මියගිය සහෝදරියට පින් දීම

කතං මයා ඉමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං,

භගිනි මෙ අනුමොදතු - පරලොකමිතො ගතා.

මියගිය පුත්‍රයාට පින් දීම

කතං මයා ඉමං පුඤ්ඤං -සබ්බසම්පත්ති සාධකං,

පුත්තො මෙ අනුමොදතු - පරලොකමිතො ගතො.

මියගිය දුවට පින් දීම

කතං මයා ඉමං පුඤ්ඤං -සබ්බසම්පත්ති සාධකං,

ධීතා මෙ අනුමොදතු - පරලොකමිතො ගතා.

මියගිය සැමියාට පින් දීම

කතං මයා ඉමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං,

භත්තා මෙ අනුමොදතු - පරලොකමිතො ගතො.

මියගිය භාර්යාවට පින් දීම

කතං මයා ඉමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං,

ඡායා මෙ අනුමොදතු - පරලොකමිතො ගතා.

මියගිය ගුරුවරයාට පින් දීම

කතං මයා ඉමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං,

ගරු මෙ අනුමොදතු - පරලොකමිතො ගතො.

ප්‍රාර්ථනා ගාථා

1. ඉමිනා පුඤ්ඤකම්මෙන - සුඛාය පටිපත්තියා

පාපුණෙය්‍යාමි නිබ්බානං - අජරං අමරං වරං

-

2. ඉමිනා පුඤ්ඤකම්මෙන - යාව පප්පොමි නිබ්බුතිං

තාව සබ්බභවෙස්වාහං - පඤ්ඤවා සීලවා භවේ

-

3. මහද්ධනො මහායසො - අප්පලොභො අමච්ඡරි

සදා දානෙ රතො සද්ධො - සණ්හවාචො භවාමිහං

-

4. මෙත්ත චිත්තො කාරුණිකො - සදා පරහිතෙ රතො

ගුණඤ්ඤු ගුණවන්තානං - තෙසං සක්කාරකො භවෙ

-

5. මහබ්බලො නිරාතංකො - දක්ඛො සබ්බත්ථ සාධනෙ

සුමිත්තො චිර ජිවී ච - භවෙය්‍යං ධම්මිකො සදා

ගාථාවල තේරුම :

  1. මම මේ පිනෙන් ජරාවක් නැත්තා වූ මරණයක් නැත්තා වූ උතුම් වූ නිර්වාණයට සුඛ ප්‍රතිපදාවෙන් (පහසු පිළිවෙතින්) පැමිණෙම්වා!
  2. මම මේ පිනෙන් යම්තාක් නිවනට පැමිණෙම් ද එතෙක් සියළු භවයන්හි නුවණැත්තේ ද සිල් ඇත්තේ ද වෙම් වා!
  3. බොහෝ ධන ඇත්තේ ද බොහෝ පිරිවර ඇත්තේ ද ලෝභ නැත්තේ ද මසුරුකම් නැත්තේ ද සැම කල්හි දීමට සතුටු වන්නේ ද ශ්‍රද්ධාව ඇත්තේ ද මෘදු කථා ඇත්තේ ද වෙම්වා!
  4. මෙත් සිත් ඇත්තේ ද කරුණාව ඇත්තේ ද සැම කල්හි අනුන්ට යහපත කිරීමෙහි සතුට ඇත්තේ ද ගුණවතුන්ගේ ගුණ දන්නේ ද ඔවුනට සත්කාර කරන්නේ ද වෙම්වා!
  5. මහත් කාය බල ඇත්තේ ද රෝග නැත්තේ ද සකලාර්ථයන් සිදුකිරීමෙහි දස්කම් ඇත්තේ ද යහපත් මිතුරන් ඇත්තේ ද බෝකල් ජීවත් වන්නේ ද ධර්මය අනුව ක්‍රියා කරන්නේ ද වෙම්වා!

මේ ප්‍රර්ථනා ගාථා ප්‍රබන්ධ කර ඇත්තේ පුරුෂයන් විසින් කරන පරිදි පුරුෂ ලිංගික වචනවලින් ය. ස්ත්‍රීන් විසින් කීම ද වරදක් නැත. එහෙත් භාෂා රීතියට නො ගැලපේ. භාෂා රීතිය අනුව ස්ත්‍රීන් විසින් කිය යුත්තේ මෙසේ ය.

ස්ත්‍රීලිංගික ප්‍රර්ථනා ගාථා

ඉමිනා පුඤ්ඤකම්මෙන - සුඛාය පටිපත්තියා

පාපුණෙය්‍යාමි නිබ්බානං - අජරං අමරං වරං

-

ඉමිනා පුඤ්ඤකම්මෙන - යාව පප්පොමි නිබ්බුතිං

තාව සබ්බභවෙස්වාහං - පඤ්ඤා සීලවතී භවේ

-

මහද්ධනා මහායසා - අප්පලොභා අමච්ඡරා

සදා දානෙ රතා සද්ධා - සණ්හවාචා භාවාමිහං

-

මෙත්ත චිත්තා කාරුණිකා - සදා පරහිතෙ රතා

ගුණඤ්ඤු ගුණවන්තානං - තෙසං සක්කාරකා භවේ

-

මහබ්බලා නිරාතංකා - දක්ඛී සබ්බත්ථ සාධනෙ

සුමිත්තා චිර ජිවීනී - භවෙය්‍යං ධම්මිකා සදා

බුදු බව පැතීම

ඉමිනා පුඤ්ඤකම්මෙන - සත්තෙ සංසාර සාගරං

සන්තාරෙත්වා සුඛාපෙතුං - බුද්ධො හොමි අනාගතෙ

-

බුද්ධො’හං බොධයිස්සාමි - මුත්තොහං මොචයෙ පරෙ

තිණ්ණොහං තාරයිස්සාමි - සංසාරොඝා මහබ්භයා

මේ පිනෙන් සත්ත්වයන් සංසාර සාගරයෙන් එතෙර කොට සුවපත් කරනු සඳහා අනාගතයෙහි බුදු වෙම්වා, මම චතුස්සත්‍යය අවබෝධ කොට අන්‍යන්ට අවබෝධ කරන්නෙම්වා, මම සසර දුකින් මිදී අන්‍යයන් ද මුදවන්නෙම්වා, මම සසර සයුරෙන් එතෙරව අන්‍යයන් ද එතෙර කරන්නෙම්වා!

ගුරුළුගෝමීන්ගේ පැතීම

1. කුදිට්ඨිං පාපමිත්තඤ්ච - න සෙවෙය්‍යං කුදාචනං

හිතචිත්තෙන සත්තානං - භණෙය්‍යං මධුරං ගිරං

-

2. ඉත්ථිධුත්තො සුරාධුත්තො - න භවෙය්‍යං කුදාචනං

කිලෙසවසිකො නෙව - චරෙය්‍යන්තු භවාභවෙ

-

3. යාවාහං පවරං බෝධිං - නාධිගච්ඡාමි සබ්බථා

සතතං තාව රක්ඛෙය්‍යං - දසකම්මපථං සුභං

බුදුබව පතනුවන්ට ඉහත දැක් වූ ප්‍රාර්ථනා ගාථා දෙකට මේ ගාථා තුනද එකතු කර පැතීම ඉතා හොඳය. ගාථාවල තේරුම මෙසේය.

  1. මිථ්‍යාදෘෂ්ටිකයන් ද පාපමිත්‍රයන් ද කිසි කලෙක සේවනය කරන්නට සිදු නො වේවා, හිත චිත්තයෙන් සත්ත්වයන් හා මිහිරි කථා කරන්නෙම්වා!
  2. කිසි කලෙක ස්ත්‍රීන්ට ලොල් නො වෙම්වා, සුරාවට ලොල් නො වෙම්වා, භවයක් භවයක් පාසා ක්ලේශයන්ට වසඟව හැසිරෙන්නෙක් නො වෙම්වා!
  3. යම්තාක් මම උත්තම වූ සම්‍යක් සම්බෝධියට නො පැමිණෙම් ද එතෙක් සැම කල්හි දශකුශල කර්ම පථය රක්නෙම්වා!

ලංකාවේ දෙවිවරුන්ට පින් දීම

විෂ්ණු දෙවියන්ට පින් දීම

නීලවණ්ණො මහාතෙජො - බලො ගරුළවාහනො,

වෙණ්හු නාමො දෙවරාජා - ඉමං පුඤ්ඤානුමොදතු.

කතරගම දෙවියන්ට පින් දීම

සලානණෝ මහාතෙජො - බලො මයුරවාහනො

දෙවින්දො කාචරගාමෙ - ඉමං පුඤ්ඤානුමොදතු

සමන් දෙවියන්ට පින් දීම

වාරණවාහනො සම්මා - සම්බුද්ධපද පූජකො

තෙජස්සි සුමනො දෙවො - ඉමං පුඤ්ඤානුමොදතු

විභීෂණ දෙවියන්ට පින් දීම

කල්‍යාණිපුරෙ රම්මෙ - තුරංගවාහනො බලී,

විභීෂණව්හයො දෙවො - ඉමං පුඤ්ඤානුමොදතු.

(ගම්භාර) සූනියම් දෙවියන්ට පින් දීම

නානාවණ්ණෝ මහාතෙජො - ඔදාතහය වාහනො,

ගාමසඤ්චාරකො දෙවො - ඉමං පුඤ්ඤානුමොදතු.

උත්පලවර්ණ දෙවියන්ට පින් දීම

ලංකායං සාසනාරක්ඛො - මහෙසක්කො මහිද්ධිකො,

දෙවින්දෝ උප්පලවණ්ණො - ඉමං පුඤ්ඤානුමොදතු.

සක් දෙවිඳු විසින් ලක් බුදුසසුන භාර කළ දෙවියා පිළිබඳ මත භේදයක් තිබේ. සමහරු ලංකා ශාසනාරක්ෂක දෙවි විෂ්ණු ලෙස සලකා ඔහුට පින් දෙති. සමහරු උත්පලවර්ණ ලෙස සලකා ඔහුට පින් දෙති. කැමැත්තක් කිරීමට විෂ්ණු උත්පලවර්ණ දෙදෙනාට ම පින් දීමට ගාථා දෙකක් මෙහි යොදන ලදී.

සීවලී පූජාව

සීවලී මහ රහතන් වහන්සේට පුද පූජා පවත්වන පින්වත්හු මේ ගාථා පාඩම් කරගෙන වැඳුම් පිදුම් කරත්වා!

සීවලී තෙරුන් වහන්සේට වැඳීම

පියං දෙව මනුස්සානං - බ්‍රහ්මාණඤ්ච පියං තථා,

පියං නාගසුපණ්ණානං - කතකිච්චං අනාසවං.

ලාභිං ලභන්තං සබ්බත්ථ - වනෙ ගාමෙ ජලෙ ඵලෙ,

ලාභීනමග්ගතං පත්තං - කත්වාන කුසලං බහුං.

ඡළභිඤ්ඤං මහාතේජං - පභින්නපටිසම්භිදං,

සුසීලං සීවලීතෙරං - නමාමි සිරසාදරං.

මල් පිදීම

පියං දෙව මනුස්සානං - කුසුමං ච මනොහරං

සුසීලං සීවලී ථෙරං - පූජෙමි කුසුමෙන’හං

පහන් පිදීම

පියං දෙව මනුස්සානං - කුසුමං ච මනොහරං

සුසීලං සීවලී ථෙරං - දීපෙන පූජයාම’හං

සුවඳ දුම් පිදීම

පියං දෙව මනුස්සානං - කුසුමං ච මනොහරං

සුසීලං සීවලී ථෙරං - ධූපෙන පූජයාම’හං

ගිලන් පස පිදීම

පියං දෙව මනුස්සානං - කුසුමං ච මනොහරං

සුසීලං සීවලී ථෙරං - ගිලානපච්චයං ඉමං

ආහාර පූජාව

පියං දෙව මනුස්සානං - කුසුමං ච මනොහරං

සුසීලං සීවලී ථෙරං - පූජෙමි භොජනං ඉමං

වන්දනාව

වැඳුම් පිදුම් කිරීමට සුදුසු බුද්ධාදි මහෝත්තමයන් කෙරෙහි හා වන්දනීය පූජනීය වස්තූන් කෙරෙහි ද ගෞරවාදරයෙන් නැමීම, අවනත බව යටහත් බව දැක්වීම වන්දනා නම් වේ. ඒ වන්දනීය පූජනීය පුද්ගලයන් කෙරෙහි හා ශාරීරික ධාතු ආදී වස්තූන් කෙරෙහි නැමීම් වශයෙන් ඒ ඒ පුද්ගලයන් කෙරෙහි පහළ වන්නා වූ චිත්තය වන්දනාමය කුශලය ය. එය දශපුණ්‍ය ක්‍රියාවන් අතුරෙන් අපචායන කුශලට අයත් වේ.

“තිස්සො ඉමං භික්ඛවෙ, වන්දනා, කතමා තිස්සො? කායෙන වාචාය මනසා, ඉමා ඛො භික්ඛවේ, තිස්සො වන්දනා”

(අංගුත්තර තික නිපාත)

යනු වෙන් කාය වන්දනාව ය, වචී වන්දනාව ය, මනෝ වන්දනාව යයි වන්දනා තුනක් ඇති බව තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කොට ඇත්තේ ය. එහි මනෝ වන්දනාව නම් මුවින් නො බැන කය නො සොලවා ‘නමස්කාර කරමි, නමස්කාර වේවා’ යනාදීන් සිතීම ය. වචී වන්දනාව නම් දෙ අත් එකතු කිරීම ආදී කායික ක්‍රියාවක් නො කොට “නමො බුද්ධාය, නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.”

“යෙ බ්‍රහ්මණා වෙදගු සබ්බ ධම්මෙ

තෙ මෙ නමො තෙ ච මං පාලයන්තු

-

නමත්ථු බුද්ධානං නමත්ථු බොධියා

නමො විමුත්තානං නමො විමුත්තියා”

යනාදීන් මුවින් පමණක් වන්දනාව පැවසීම ය.

කයින් වැඳීමේ ක්‍රම බොහෝ ඇත්තේය. සිටගෙන පපුව කෙළින් දෙ අත් එකතු කිරීම එක් වන්දනා ක්‍රමයකි. එසේ කර ශරීරයත් ඉදිරියට නැමීම එක් ක්‍රමයකි. දෙ අත් එක් කොට නළල මත තැබීම එක් ක්‍රමයකි. හිස මත තැබීම එක් ක්‍රමයකි. එක් දණක් බිම හැණ වැඳීම එක් ක්‍රමයකි. දෙ දණ ම බිම ඇණ වැඳීම එක් ක්‍රමයකි. දෙ දණ දෙ වැලමිට නළල යන පස ම බිම පිහිටුවා වැඳීම එක් ක්‍රමයකි. එයට පසඟ පිහිටුවා වැඳීම යැයි කියනු ලැබේ. ගොප් ඇට පිරිමදිමින් පතුල මත හිස තබා වැඳීම එක් ක්‍රමයකි. පතුල් පිරිමදිමින් වැඳීම එක් ක්‍රමයකි. පාමුල බිම දිගා වී වැඳීම එක් ක්‍රමයකි. පසේනදී කොසොල් රජතුමා බුදුන් වහන්සේ වෙත එළඹ බිම දණ ගසා තථාගතයන් වහන්සේගේ පතුල් මත හිස තබා අතින් පා පිරිමදිමින් සිඹිමින් “ස්වාමිනි, මම පසේනදි කොසොල් රජු ය, ස්වාමිනි, මම පසේනදි කොසොල් රජු ය” යි කී බව මජ්ඣිමනිකායේ ධම්මචේතිය සූත්‍රයෙහි දක්වා තිබේ. එය ඒ රජතුමාගේ උසස් වන්දනාව ය. මෙසේ කාය වන්දනාව අනේකාකාර වන බව දත යුතුය. වචී වන්දනාව කරන තැනැත්තා එය කරන්නේ වචනය උපයෝගී කර ගෙන සිතින් ම ය. කාය වන්දනාව කරන තැනැත්තා එය කරන්නේ ද කය උපයෝගී කර ගෙන සිතින් ම ය. මේ දෙතන්හි ම කුශලය වන්නේ ඒ ක්‍රියා සිදු කරන සිත ම බව දත යුතු ය. වන්දනා චිත්තය ඥාන සම්ප්‍රයුක්ත වී නම් බලවත් කුශලයක් වේ. ඥානවිප්‍රයුක්ත වී නම් දුබල කුශලයක් වේ.

වන්දනා ගාථා කීම

මෙකල තුනුරුවන් වැඳීමේදී ද මල් පහන් ආදිය පිදීමෙහිදී ද සෑම දෙනා ම වාගේ නානා ප්‍රකාර ගාථා කියති. බොහෝ දෙනා ඒවා කිරීමේ දී ගාථා කිය යුතුම යැයි සිතති. ගාථා නො කියා ඒවා නො කළ හැකිය යි ඇතැම් හු සිතති. ඒ නිසා ඇතැම්හු මල් පූජා ආදිය කිරීමේ දී අමාරුවෙන් වුව ද කෙමෙකු සොයා ගාථා කියවා ගනිති. ගාථා කියන්නට බැරි කම නිසා ඇතැම්හු වැඳුම් පිදුම් නො කරති. ගාථා නො කියා ගාථා නැතිව වැඳුම් පිදුම් නො කළ හැකිය යනු වැරදි හැඟීමකි. වැඳුම් පිදුම් කිරීමට ගාථා කිය යුතුම කියා නියමයක් නැත. ගාථා නො කියා වැඳුම් පිදුම් කිරීමෙන් ද පින් සිදුවන්නේ ය. වැඳුම් පිදුම් කිරීමේ පින කුඩා මහත් වන්නේ කියන ගාථා අනුව නොව කරන තැනැත්තාගේ සිතේ ඇති ශ්‍රද්ධා ප්‍රඥාවන් අනුවය. බලවත් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව වඳින්නහුට බොහෝ අනුසස් ලැබිය හැකි වන බලවත් කුශලයක් අත් වේ. මඳ සැදැහැයෙන්, මඳ නුවණින් වඳින්නහුට දුබල කුශලයක් ලැබේ. සම්පූර්ණයෙන් ප්‍රඥාවෙන් තොරව වඳින්නහුට ඉතා දුබල කුශලයක් ලැබේ.

දිනක් තථාගතයන් වහන්සේ බලවත් උදෑසන කාලයේ මහකුළුණු සමවතින් නැගිට ලොව බලා වදාරණ සේක්. එදිනම මැරී අපායෙහි උපදින්නට ඇති මහළු සැඩොල් ගැහැණියක දැක, ඇය දෙව් ලොවට පමුණු වන්නට සිතා මහ සඟන පිරිවරා රජගහ නුවර බලා පිඬු පිණිස වැඩම කළ සේක. එ වෙලෙහි සැඩොල් මැහැල්ල සැරයටියක් ගෙන වෙව්ලමින් නුවරින් නික්මෙන්නී බුදුරදුන් වඩිනු දැක නැවතුනාය. තථාගතයන් වහන්සේ ද ඇයට මඟ අවුරන්නාක් මෙන් ඇය ඉදිරියේ නැවතුනාහ. උන්වහන්සේ පසුපස වැඩම කළ මුගලන් මහ තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ නැවතී සිටින කාරණයත් සැඩොල් මැහැල්ලගේ ආයු කෙළවර වන්නට ළං වී ඇති බවත් දැන,රොඩී මැහැල්ල අමතා ඇගේ ආයුෂ කෙළවර වන්නට ළං වී ඇති බව වදාරා තථාගතයන් වහන්සේ ගේ පා වඳින ලෙස වදාළහ. එය අසා ඉමහත් සංවේගයට පැමිණි රොඩී මැහැල්ල බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදා පසඟ පිහිටුවා උන්වහන්සේ ගේ පා වැන්දාය. ඉක්බිති නැගිට තථාගතයන් වහන්සේ දෙසට වැඳගෙන බුද්ධාලම්බණ ප්‍රීතියෙන් සිත එකඟ කොට බලා සිටියා ය. තථාගතයන් වහන්සේ මැයට ස්වර්ගයෙහි ඉපදීමට මේ පින ප්‍රමාණවත් යයි නුවරට පිවිසි සේක. රොඩී මැහැල්ල දන්නා එක ම ගාථාවකුදු නැත. ඇය වැන්දේ කිසිවක් නො කියමින් ය. ඇය එදින කාලක්‍රියා කොට ගාථා නොකියා වැන්දා වූ ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව මහත් සම්පත්තියක් ඇති දෙවඟනක් වූවා ය. මේ කථාව විමානවත්ථූපකරණයෙහි එන්නේ ය. වන්දනාමය කුශලය සිදු කර ගැනීම ගාථා නැතිව කළ හැකි බවට මේ කථාව සාධකයකි.

බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ දී උන්වහන්සේ වෙත දිනපතා දහස් ගණන් ජනයා පැමිණියහ. ඒ අය මෙකල බෞද්ධයන් විහාරවලට ගොස් වඳින්නාක් මෙන් ගාථා කියමින් වැඳීම කළාහු නම් තථාගතයන් වහන්සේට වැඳුම් පිළිගැනීමට වඩා වැඩි වැඩක් කරන්නට නො ලැබෙන්නේ ය. ඔවුහු රජකු ඉදිරියට යන කලෙක මෙන් ඉතා ගෞරවයෙන් ඉතා ශාන්ත ලීලාවෙන් බුදුන් වහන්සේ ඉදිරියට ගොස් පසඟ පිහිටුවා හෝ අන් අයුරකින් හෝ වැඳීම කළහ. පිදියයුත්තක් ඇති නම් එය තථාගතයන් වහන්සේගේ අතට පිළිගැන්වූහ. පාමුල හෝ තැබූහ. දැනට මල් පහන් ගිලන්පස විහාරවලට ගෙන ගොස් බුදුපිළිමය ඉදිරියේ තබා මහ හඬ නඟා බොහෝ වේලා ගාථා කියන්නාක් මෙන් ජීවමාන බුදුන් වහන්සේ ඔවුන් පලවා හරිනු නො අනුමානය.

බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්නවුන් විසින් ගත යුතු හොඳ ම ක්‍රමය උසස් ම ක්‍රමය නම් බුදුගුණ මෙනෙහි කොට බුදුරුව සිතින් මවා ගෙන දිවමන් බුදුන් වහන්සේට මෙන් පරම ගෞරවයෙන් වැඳුම් පිදුම් කිරීම ය. එසේ කරන තැනැත්තා විසින් විහාරයකට හෝ දාගැබක් වෙතට හෝ යන කල්හි බුදුගුණ සිහි කරමින් රජකු ඉදිරියට යන්නාක් මෙන් ඉතා ගෞරවයෙන් සන්සුන්ව පූජනීය ස්ථානයට යා යුතුය. ඉක්බිති සිතින් බුදුරදුන් නිර්මිත කරගෙන බුදුනට වඳිමි යි පසඟ පිහිටුවා පරම ගෞරවයෙන් වැඳිය යුතුය. මල් ආදී පිදිය යුතු දැයක් ඇති නම් බුදුන් වහන්සේගේ පාමුල තබන අයුරින් ගෞරවයෙන් ඒවා පිදිය යුතුය. එසේ කරන්නහුට දිවමන් බුදුනට වැඳුම් පිදුම් කිරීමෙන් ලැබෙන කුශලයට නො වෙනස් කුශලයක් අත්පත් වේ.

තිට්ඨන්තේ නිබ්බුතෙ චාපි - සමෙ චිත්තෙ සමං ඵලං

චෙතොපණිධි හෙතු හි - සත්තා ගච්ඡන්ති සුග්ගතිං

(විමාන වත්ථුපාලි)

“බුදුරදුන් දිවමන් කල්හි ද පිරිනිවීමෙන් පසු ද උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්නවුන්ට සිත සමාන නම් සමාන ඵල ලැබෙන්නේ ය. සිත මනා කොට තැබීම හේතුකොට සත්ත්වයෝ සුගතියට යන්නාහ.” යනු ඒ ගාථාවේ තේරුම ය.

ජීවමාන බුදුනට වැඳුම් පිදුම් කිරීමේ දී ඇතිවන සිතට සමාන සිතක් ඇති කරගෙන පිරිනිවියා වූ බුදුනට වැඳුම් පිදුම් කළ හැක්කේ නුවණ දියුණු අයට පමණෙකි. නුවණ නො දියුණු අයට එය කිරීම අපහසු ය. ඔවුනට දැනට පුරුදු වී ඇති ගාථා කියා වැඳුම් පිදුම් කිරීමේ ක්‍රමය ම වඩා යෝග්‍ය බව කිව යුතු ය.

ගාථා කියා වැඳුම් පිදුම් කිරීමේ සිරිත එතරම් පැරණි නොවේ. බුදුගොස් හිමියන් ලක්දිවට පැමිණ අටුවා ලියූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ නවසිය ගණනකට පසුවය. අටුවාවල වැඳීමේ ආකාරය දක්වා ඇති තැන්වල ගාථා කිය යුතු බවක් සඳහන් වී නැත. එයින් සිතා ගන්නට ඇත්තේ ඒ කාලයේ දී ගාථා කියා වැඳීමේ සිරිතක් නො තිබූ බව ය. සුමංගලවිලාසිනී නම් වූ දීඝනිකායට්ඨකථාවෙහි සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාවෙහි චෛත්‍යය හා බෝධිය වැඳිය යුතු සැටි දක්වා ඇත්තේ මෙසේ ය.

“බුද්ධාරම්මණං පීතිං ගහෙත්වා චෙතියංගණං ආරුය්හ මහන්තං චෙ චෙතියං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා චතුසු ඨානෙසු වන්දිතබ්බං ඛුද්දකං චෙ තථෙව පදක්ඛිණං කත්වා අට්ඨසු ඨානෙසු වන්දිතබ්බං, චෙතියං වන්දිත්වා බොධියංගණං පත්තෙනා පි බුද්ධස්ස භගවතො සම්මුඛා විය නිපච්චාකාරං දස්සෙත්වා බෝධිං වන්දිතබ්බා”

එහි තේරුම: “බුද්ධාරම්මණ ප්‍රීතිය උපදවා ගෙන සෑමළුවට නැඟ ඉදින් චෛත්‍යය මහත් වේ නම්, තුන් වරක් පැදකුණු කොට සතර තැනක වැඳිය යුතුය. ඉදින් චෛත්‍යය කුඩා නම්, එසේම පැදකුණු කොට අට තැනක වැඳිය යුතුය. චෛත්‍යය වැඳ බෝමළුවට පැමිණියාහු විසින් බුදුන් වහන්සේ ඉදිරියෙහි මෙන් ගෞරව දක්වා බෝධිය වැඳිය යුතුය” යනු යි.

පැදකුණු කිරීමය යනු තමාගේ දකුණු අංශය චෛත්‍යය දෙසට සිටින සේ වැඳ ගෙන චෛත්‍යය වටා යාමය. එසේ කිරීමේ දී ඒ ඒ තැන දී පසඟ පිහිටුවා වැඳිය යුතු ය. මේ අටුවාවෙහි චෛත්‍යය වන්දනාව දක්වා ඇති ආකාරය ය. ගාථා කීමේ සිරිත ඒ කාලයේ පැවතියේ නම් බුදු ගොස් හිමියන් විසින් ගාථා කිය යුතු බවත් නො අනුමානව ම සඳහන් කරනවා ඇත. එසේ සඳහන් නො කිරීමෙන් පිළිගන්නට ඇත්තේ ඒ කාලයේ දී ගාථා කියා වැඳීමේ සිරිත නො තිබූ බවය.

බුදුරදුන් පිරිනිවීමෙන් පසු බුද්ධ ප්‍රමුඛ උභතෝ සංඝයා හට දන් දෙනු කැමති කල්හි උභතෝ සංඝයා මැද බුදු පිළිමයක් තබා එය ඉදිරියෙහි පාත්‍රයක් තබා සංඝයාට දන් බෙදන කල්හි බුදුන් වහන්සේගේ කොටස ඒ පාත්‍රයට බෙදමින් දානය දිය යුතු බව දක්ෂිණාවිභංග සූත්‍ර අටුවාවෙහි කියා තිබේ. ගාථා කියා බුද්ධ පූජාව කිරීමක් එහි සඳහන් නො වේ. එයින් තේරුම් ගත යුත්තේ ඒ කාලයේ පිරිනිවියාවූ බුදුනට ආහාර පූජාදිය කිරීමේ දී ගාථා කීමේ සිරිත නො තිබූ බව ය.මේ කරුණු අනුව කිව යුත්තේ ගාථා නො කියා වැඳුම් පිදුම් කිරීමේ වරදක් නැති බවත් සැදැහැයෙන් වැඳුම් පිදුම් කරන්නෙකුට ගාථා නැතිකමින් හානියක් නැති බවත් ය.

වන්දනා ගාථාවල ප්‍රයෝජනය

ඉහත දැක් වූ කරුණු අනුව සිතන කල්හි දැනට කරගෙන යන පරිදි වැඳුම් පිදුම් කිරීමේ දී නොයෙක් ගාථා නොයෙක් වාක්‍යන් කීම නිෂ්ඵල නුවුමනා දෙයකැයි ඇතැමුන්ට සිතෙන්නට පිළිවන. බොහෝ වේලා නොයෙක් දේ කියමින් වැඳීම පිදීම වුවමනා නැති නිෂ්ඵල වැඩකැයි ඇතමුන් කියනු ද සමහරවිට ඇසේ. එසේ කියනුයේ ද ඔවුන්ගේ නො දැනීම නිසාය. වැඳුම් පිදුම් කිරීමේ දී රත්නත්‍රයේ ගුණ දැක්වෙන ගාථා හෝ වාක්‍යයන් කීමේ ප්‍රයෝජන බොහෝ ඇත්තේ ය. වඩා ප්‍රයෝජනය ඇති වන පරිදි එය හොඳින් සකස්කර ගන්නවා මිස අත්හැර දැමිය යුතු නොවේ.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දක්නට ඇත්තා වූ, උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් කරන මධුර ධර්ම දේශනය අසන්නට ඇත්තා වූ, උන්වහන්සේ වාසය කරන විහාරාරාමයන් දක්නට ඇත්තා වූ, උන්වහන්සේ ගේ උසස් ශ්‍රාවකයන් දක්නට ඇත්තා වූ, උන්වහන්සේ වෙත පැමිණ ගරු බුහුමන් කරන රාජරාජමහාමාත්‍යාදීන් දක්නට ඇත්තා වූ, උන්වහන්සේ ගේ ගුණ අසන්නට ලැබෙන්නා වූ උන්වහන්සේ ජීවමානව වැඩ සිටියාවූ කාලයේ දී කාහටත් ලෙහෙසියෙන් බුදුගුණ දත හැකිය. අනන්ත ගුණ ඇති තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාරා බොහෝ කල් ගත වී ඇති බැවින් මෙකල ඉන්නා ජනයන්ට බුදුන් හැඳින ගැනීමට බුදුගුණ දැන ගැනීමට දුෂ්කරය. වන්දනාමය කුශලයත් පූජාමය කුශලයත් මහත්ඵල වන්නේ ඒවා කරන අයගේ බුදුගුණ දැනීම අනුව ය. වන්දනා පූජා සඳහා පිළියෙල කර ඇති ගාථා හා වාක්‍ය බුදුගුණ ප්‍රකාශ කරන ඒවා ය. ඒවා පාඩම් කරගෙන කියමින් වැඳුම් පිදුම් කරන කල්හි ඒ ගාථාවලින් වාක්‍යවලින් දැක්වෙන බුදුගුණ වන්දනා කරුවන්ගේ සිතට නැඟී එන්නේ ය. එයින් ඔහුට බුද්ධාලම්බණ ප්‍රීතිය හා ශ්‍රද්ධාව ඇතිවේ. බුදුගුණ සිතට නඟා ගෙන බුද්ධාලම්බණ ප්‍රීතියෙන් යුතුව කරන ඒ වන්දනා පූජාවෝ ඒ නිසාම මහත්ඵල වන්නාහ. නොයෙක් ලෙස ගාථා කියමින් කල් ගතකරමින් වැඳුම් පිදුම් කිරීම ජීවමාන බුදුරදුන් ඉදිරියේ කිරීම සුදුසු නැත ද මේ කාලයේ තමන්ගේ සිතින් බුදුන් මවාගෙන උන්වහන්සේට වැඳුම් පිදුම් කිරීමේදි බුදුගුණ කීම සුදුසු ය. බුද්ධ ගුණාත්මක ගාථාදිය කියමින් වඳින්නවුන්ට බුදුගුණ සිහිකිරීමෙන් හා කීමෙන් අතිරේක කුශලයක් ද අයත් වේ. බුදුගුණ සිහිකරන කියන අවස්ථාවේදී එසේ කරන තැනැත්තාට කියන වචනයක් පාසා ම ඇති වන්නේ කාමාවචර කුසල් සිත් ය. ඒ හැම කුසල් සිතක්ම අනාගතයේදී ඔහුට බොහෝ ඉෂ්ට විපාක ඇතිකරන්නේ ය. බොහෝ වෙලාවක් බුදුගුණ කියමින් වඳින සැදැහැවතාට බොහෝ කුසල් සිත් ඇති වේ. මඳ වෙලාවක් එසේ කරන තැනැත්තාට ඇති වන්නේ කුසල් සිත් ස්වල්පයකි. බොහෝ පින් ඇති කරගනු කැමතියන් විසින් බොහෝ බුදුගුණ පාඨයන් පාඩම් කරගෙන ඒවා කියමින් වැඳිය යුතුය. බුදුගුණ කොතෙක් කීවද එහි වැඩිකමක් නිෂ්ඵල කමක් නැත. බුදුගුණ කියන්නහුට දහම් ගුණ කියන්නහුට සඟගුණ කියන්නහුට පදයක් පදයක් පාසාම උසස් කුශලයක් අත්පත් වේ. ඒ කුශලයේ අගය මෙසේ දක්වා තිබේ.

“බුද්ධොති කිත්තයන්තස්ස

යස්ස කායෙ භවති යා පිතී,

වරමෙව හි සා පීති

කසිණෙනපි ජම්බුදීපස්ස

-

ධම්මොති කිත්තයන්තස්ස

යස්ස කායෙ භවතු යා පීති

වරමෙව හි සා පීති

කසිණෙනපි ජම්බුදීපස්ස

-

සංඝොති කිත්තයන්තස්ස

යස්ස කායෙ භවතු යා පීති

වරමෙව හි සා පීති

කසිණෙනපි ජම්බුදීපස්ස”

(බ්‍රහ්මජාල සුත්තට්ඨකථා)

ශ්‍රද්ධාව ඇතිවීම පිණිස මේ ගාථා පාඩම් කරගෙන තිබීම යහපති. බුද්ධ යන වචනය කියන්නහුට ද ධම්ම යන වචනය කියන්නහුට ද සංඝ යන වචනය කියන්නහුට ද එයින් යම් ප්‍රීතියක් වේ නම් ඒ ප්‍රීතිය මුළු දඹදිවට රජ වීමට ද වඩා උතුම් බව ඒ ගාථාවලින් ප්‍රකාශ වේ.

තේරුම නො දන්නා ගාථා කීම

බොහෝ දෙනා මේ වැඳීම පිදීම ගාථා කියා ම කළ යුත්තකැ යි සිතා යම් කිසිවක් පාඩම් කර ගෙන එය කියා වඳිති. තමන්ට නො තේරෙන දෙයක් කියමින් එසේ වන්දනා කරන්නවුන්ට එයින් ලැබෙන්නේ ඥාන විප්‍රයුක්ත වූ දුබල කුශලයකි. ඒ දුබල කුශලයෙන්, වන්දනාවෙන් පූජාවෙන් ලැබෙන්නේයැ යි කියා ඇති උසස් අනුසස් නො ලැබෙන්නේ ය. එ බඳු කුශලයකින් මිනිස් ලොව උපදනේ ද දුබලයකු ව ම උපදී. දෙව්ලොව උපදනේ ද අල්පේශක්‍ය දෙවියෙක් වන්නේ ය. වන්දනා ගාථා ප්‍රයෝජන වන්නේ ඒවා තේරුම් ගෙන ඒවායින් කියවෙන ගුණ සිතට නඟා වන්දනා කළ හැකියන්ට පමණෙකි. පාළි ගාථාවල අදහස් තේරුම් ගෙන වැඳීම බොහෝ දෙනාට කළ හැක්කක් නො වන බැවින් මෙහි සිංහල වන්දනා පාඨයක් යොදා ඇත. එය පාඩම් කරගෙන එහි දැක්වෙන බුදුගුණ සලකා ගෙන එය කියා වන්දනා කිරීමෙන් ඥානසම්ප්‍රයුක්ත වන උසස් කුශල් අත්පත් කර ගත හැකිය.

මඟඵල ලබා නිවන් දැකිය හැකි වන්නේ ත්‍රිහේතුක පුද්ගලයන්ට පමණකි. ඥානවිප්‍රයුක්ත කුශලයෙන් ලැබෙන්නේ ද්වීහෙතුක හෝ අහේතුක උත්පත්තිය ය. නිවන් පතා වුවද ඥානවිප්‍රයුක්ත කුසල් කොට ඒවායින් ද්වීහෙතුක හෝ අහේතුක උත්පත්ති ලබා සිටින විටෙකදී ලොවුතුරා බුදු කෙනෙකුන් හමු වුව ද ඔවුනට ඒ ජාතියේදි මඟඵල නො ලැබිය හැකි ය. නිව්න් නො දැකිය හැකිය. එබැවින් පින් කරන අවස්ථාවල ඥානසම්ප්‍රයුක්ත ත්‍රිහේතුක කුශලයන් ම ඇතිකර ගැනීමට උත්සාහ කළ යුතු ය. ත්‍රිහේතුක කුශල් ඇති කර ගත හැකි වීමට ගාථා කියා වැඳුම් පිදුම් කරන්නවුන් ඒවායේ තේරුම දැනගත යුතු ය. ගාථාවක තේරුම අසා බලා දැන ගත්තේ ද පාලි භාෂාව නො දන්නවුන්ගේ සිතට ගාථාව කියන කල්හි එහි තේරුම මතු වී නො එයි. කියන විටම තේරුම සිතට නැඟෙන්නේ තරමකටවත් පාලි භාෂාව දැන සිටින ආයට පමණකි. එබැවින් තේරුමත සමඟ ගාථා පාඩම් කර ගෙන තේරුමත් සමඟම කියා වැඳුම් පිදුම් වඩා හොඳ ක්‍රමය බව කිය යුතුය. මෙහි වන්දනා පූජා ගාථාවල තේරුම යොදා ඇත්තේ ඒ නිසාය. තේරුමත් සමඟම ඒවා කියා වැඳුම් පිදුම් කිරීමෙන් ඥානසම්ප්‍රයුක්ත කුශලයන් ඇති කර ගත හැකිය.

ස්තුති පූජාව

මල්, පහන්, සුවඳ දුම්, සුවඳ සුණු, සුවඳ පැන්, සුවඳ දෑ, ආහාර-පාන-වස්ත්‍ර යන ආදී මනුෂ්‍යයන් කැමැති වන දෙයකි. ඇතැම්හු මිල මුදලට වඩා ස්තුතියට කැමැත්තෝය. ඔවුන් ගෙන් මුදලක් දී කරවා ගත නොහෙන වැඩක් ස්තුතියෙන් කරවා ගත හැකිය. ස්තුතියෙන් සැමදෙනා ම සතුටු කරවිය හැකි ය. සතුටු වන දෙයක් වන ස්තුතිය ද පූජා කළ යුතු දෙයකි. රජුන් සතුටු කරවා ඔවුන්ගෙන් ප්‍රයෝජන ලබනු කැමැත්තෝ රජුන් ඉදිරියේ ඔවුන්ගේ ගුණ ගී ගයා ඔවුනට ස්තුතිය පිරිනමති. දෙවියන්ගෙන් උපකාර ලබනු කැමැත්තෝ දේවාලයකට ගොස් ස්තෝත්‍ර නාමයෙන් හඳුන්වන ශ්ලෝක කවි හා කන්නලව් නමින් හඳුන්වන වාක්‍යයන් ද කියමින් දෙවියන්ට ස්තුති පූජා කරති. ඇතැම්හු ස්තුති ගීතිකා ස්තුති වාක්‍යය පත් වල ලියා හෝ මුදණය කරවා උසස් අයට හා හිතවතුන්ට පිරිනමති. එසේ කරන්නේ මේ ස්තුතිය හැමදෙනම කැමති වන්නක් බැවිනි. රාජාදී සෑමදෙනාම කැමති වන උසස් අයට පිරිනමන ඒ ස්තුතිය මල් පහන් සුවඳ ආදිය සේ රත්නත්‍රයට පූජා කිරීමට ද සුදුසු ය. එබැවින් ඇතැම්හු ලොවුතුරා බුදුවරයන් කෙරෙහි පැහැද උන්වහන්සේලා ඉදිරියේ ගාථා කියා උන්වහන්සේලාට ස්තුති පූජා කළහ. වැඳීම මල් පහන් ආදියෙන් පිදීම පිනක් වන්නාක් මෙන් ස්තුතියෙන් පිදීම ද පිනක් වේ. රත්නත්‍රය ගුණවලින් යුක්ත කොට ගොතා ඇති වන්දනා ගාථා, වන්දනා වාක්‍යයන් කීම රත්නත්‍රයට ස්තුති පූජාවකි. ගුණ සිහි කරගැනීමට පමණක් නොව ස්තුති පූජාවක් වශයෙන්ද ඒ ගාථා වාක්‍ය‍යන් කිය යුතු ය.

ස්තුති පූජාවේ අනුසස්

අතීතයේ එක් කපෙක හිමවත දකුණු දිග එක් භූමිභාගයක අසපුවෙක තව්සෙක් මෝක්ෂ මාර්ගය දක්වන ආචාර්ය‍යවරයෙකු සොයමින් වනයෙහි ඇති මූල ඵලයන් ආහාර කොට ගනිමින් විසුවේ ය. එසමයෙහි සුමේධ බුදුන් වහන්සේ ලොව පහළව සිව්සස් දෙසමින් මහජනයා සසර සයුරෙන් එතෙර කරවන්නට වන්හ. බුදුන් ලොව පහළව අට වසක් ඉක්මීමෙන් පසු බුදුන් ලොව පහළ වූ පුවත තව්සාට ද සැලවිය. තාපස තෙමේ ඉමහත් ප්‍රීතියට පැමිණ අසපුව හැමද ගිනි නිවා තවුස් පිරිකර ගෙන බුදුන් දක්නා රිසියෙන් නික්ම ගොස් සුමේධ බුදුන් වහන්සේ වෙසෙන චන්දවතී නම් නගරයට එක් දිනකින් ම පැමිණියේය. එසමයෙහි සුමේධ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරමින් උන් සේක. තාපස තෙමේ ජන සමූහයා පසු කොට ඉදිරියට ගොස් බුදුන් වහන්සේට වැඳ මතු දැක්වෙන ගාථා කියා උන්වහන්සේට ස්තුති කළේය.

තුවං සත්ථා ච කේතු ච ධජො යූපො ච පාණිනං,

පරායනො පතිට්ඨා ච දීපො ච දීපදුත්තමො.

-

නෙපුඤ්ඤො දස්සනෙ වීරො තාරෙසි ජනතං තුවං,

නත්ථඤ්ඤො තාරකො ලොකෙ තවුත්තරීතරො මුනෙ.

-

සක්කා භවේ කුසග්ගෙන පමෙතුං සාගරුත්තමෙ,

නත්වෙව තව සබ්බඤ්ඤු ඤාණං සක්කා පමෙතවෙ.

-

තුළා දණ්ඩෙ ඨපෙත්වාන මහිං සක්කා ධරෙතවෙ,

නත්වෙව තව පඤ්ඤාය පමාණමත්ථි චක්ඛුම.

ආකාසො මිනිතුං සක්කා රජ්ජුයා අංගුලෙන වා,

නත්වෙව තව සබ්බඤ්ඤු සීලං සක්ක පමෙතවෙ.

-

මහාසමුද්දෙ උදකං ආකාසො ච වසුන්ධරා,

පරිමෙය්‍යානි එතානි අප්පමෙය්‍යාසි චක්ඛුම.

සුමේධ බුදුන් වහන්සේ ඔහුගේ ස්තුති පූජාව පිළිගෙන මහසඟන මැද හිඳ ඔහුට මතු ලැබෙන විපාක මෙසේ වදාළ සේක. පහන් සිතින් මාගේ ඥානයට පැසසූ ඒ තවුසා ඒ පිනෙන් සත් සැත්තෑ කපක් දෙව් ලොව දෙව් සැප විඳින්නේ ය. දහස් වරක් දෙව්ලොව රජ වී රජය කරන්නේ ය. වාර සිය ගණනක් මිනිස් ලොව සක්විති රජ වන්නේය. ගණනින් නිම කළ නොහෙන තරම් වාරවලදී ප්‍රදේශ රාජ සම්පත් ලබන්නේය. මොහු දෙව් වුව ද මිනිස් වුව ද හැම කල්හි පින්කම් කරන තියුණු නුවණැතියෙක් වන්නේ ය. මෙයින් කල්ප තිස් දහසකින් මතු ඔක්කාක කුලයෙහි ගෞතම නම් බුදු කෙනෙක් වන්නේ ය. එකල මේ තෙමේ මිනිස් ලොව ඉපිද ඒ බුදුන්ගේ සස්නෙහි ඉපිද පැවිදිව සත් අවුරුදු වයසේදීම සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ දුක් කෙළවර කරන්නේ ය.

ඒ තාපස තෙමේ බුදුන්ගේ කාලයේ පටන් ගෞතම බුදුන්ගේ කාලය දක්වා ඇති කල්ප තිස් දහහසක් වූ අතිදීර්ඝ කාලයෙහි එක වරකුදු දුර්ගතියට නො පැමිණ දේව මනුෂ්‍ය සංඛ්‍යාත සුගති සංසාරයෙහි සැරිසරා අප බුදුන් කාලයේ දී මිනිස් ලොව ඉපිද පැවිදිව සත් අවුරුදු වයසේ දීම රහත් ව:

“තිංස කප්ප සහස්සම්හි - යං ඤාණමථවිං අහං,

දුග්ගතිං නාභිජානාමි - ඵලං ඤාණස්ස ථොමනෙ.”

යනුවන් මම කල්ප තිස් දහසකින් ඔබ බුදුන්ගේ නුවණට යම් ස්තුතියක් කළෙම් ද ඒ පිනෙන් මේ වනතුරු දුර්ගතියට නො ගියෙමි. මෙය ඥානයට ස්තුති කිරීමේ ඵලයයි ප්‍රකාශ කළේය. මේ කථාව ඤාණාතවිකතෙරාපදාන යන නමින් අපදාන පාලියෙහි එන්නේ ය.

මෝඝරාජ තෙරුන් වහන්සේ ගේ ස්තුති පූජාව

මෝඝරාජ තෙරුන් වහන්සේ අතීතයෙ එක් ජාතියක දී මහසඟන පිරිවරා මහ මඟ වඩනා අත්ථදස්සී බුදුන් වහන්සේ දැක පැහැදී වැඳ මෙසේ ස්තුති කළහ.

යාවතා රූපිනො සත්තා අරූපී වා අසඤ්ඤුනො,

සබ්බෙ තෙ තවඤාණම්හි අන්තො හොන්ති සමොගධා.

-

සුඛුමච්ඡිකජාලෙන උදකං යො පරික්ඛිපෙ,

යෙ කෙචි උදකෙ පාණා අන්තො ජාලෙ භවන්ති තෙ.

-

යෙසං ච චෙතනා අත්ථි රූපිනො වා අරූපිනො,

සබ්බෙ තෙ තව ඤාණම්හි අන්තො හොන්ති සමොගධා.

-

සමුද්ධරසිමං ලොකං අන්ධකාරසමාකුලං,

තව ධම්මං සුණිත්වාන කංඛාසොතං තරන්ති තෙ.

-

අවිජ්ජා නිවුතෙ ලොකෙ අන්ධකාරෙන ඔත්ථටෙ,

තව ඤාණම්හි ජොතන්තෙ අන්ධකාරා පධංසිතා.

-

තුචං චක්ඛුසි සබ්බේසං මහාතමපනූදනො,

තව ධම්මං සුණිත්වාන නිබ්බායති බහුජ්ජනො.

මෙසේ ගාථා කියා බුදුනට ස්තුති කොට අවසානයේ ගොටුවක් පුරා මී පැණි ද තථාගතයන් වහන්සේට පිළිගැන්වූහ. තථාගතයන් වහන්සේ එය පිළිගෙන වළඳා අහසෙහි සිට ඔවුන්ගේ සිත් සතුටු කරවමින් මෙසේ වදාළ සේක.

මාගේ ඥානයට ස්තුති කළා වූ බුදුනට ස්තුති කළා වූ මොහු ඒ චිත්තප්‍රසාදය හේතු කොට මතු දුර්ගතියට නො පැමිණෙන්නේ ය. ඔහු මේ පිනෙන් තුදුස්වරක් දෙව්ලොව රජ කරන්නේ ය. අටසිය වරක් පොළොවෙහි රජ වන්නේ ය. පන්සිය වරක් සක්විති රජ වන්නේය. ප්‍රමාණවත් නැති වාරවල ප්‍රදේශරාජ වන්නේ ය. අනාගතයෙහි ගෞතම බුදුන්ගේ සසුනෙහි පැවිදිව මෝඝරාජ යන නාමයෙන් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ ය. ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වන්නා වූ මොහු බුදුන්වහන්සේ රූක්ෂචීවරධාරීන්ගෙන් අග්‍රස්ථානයෙහි තබා වදාරන්නාහ. මේ කථාව අපදාන පාළියෙහි මෝඝරාජ ථෙරාපදාන නාමයෙන් ආයේය.

තෙරුවන් ගුණ දැනීම

බුදුගුණ නො දන්නවුන්ට බුදුන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති විය නො හැකිය. මඳක් බුදුගුණ දන්නවුන්ට මඳ ශ්‍රද්ධාවක්, දුබල ශ්‍රද්ධාවක් ඇති වේ. බොහෝ බුදුගුණ දන්නවුන්ට මහත් වූ ශ්‍රද්ධාවක් බලවත් ශ්‍රද්ධාවක්, කවරකු විසිනුදු වෙනස් කළ නො හෙන අචල ශ්‍රද්ධාවක් ඇති වේ. බුදුගුණ දැනීම මඳ පමණට ඔහුට ඇති වන ශ්‍රද්ධාව දුබලය. බුදුගුණ දැනීම වැඩි වැඩි පමණට ඔහුට බලවත් ශ්‍රද්ධාවක් ඇතිවේ. වැඳුම් පිදුම් කිරීමෙන් වන කුශලය කුඩා මහත් වන්නේ එය කරන සිත හා ඇති වන ශ්‍රද්ධා ප්‍රඥාදීන් අනුව ය. මන්ද ශ්‍රද්ධා ප්‍රඥාවන්ගෙන් යුක්ත කුශලය අල්ප ඵල අල්පානිසංස වන්නේ ය. බලවත් ශ්‍රද්ධා ප්‍රඥාවන්ගෙන් යුක්ත කුශලය මහත්ඵල මහානිසංස වන්නේ ය. මහත්ඵල මහානිසංස වන පරිදි වැඳුම් පිදුම් කිරීමේ කුශලය ඇති කරගත හැකි වීමට තෙරුවන් ගුණ දැන ගැනීමට උත්සාහ කළ යුතු ය.

බුදුගුණ ඉතා බොහෝය. ආකාශය සේ අනන්තය. කියා නිම කළ නො හැකිය.

බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං

කප්පම්පි චෙ අඤ්ඤමභාසමානො

ඛීයෙථ කප්පො චිරදීඝමන්තරෙ

වණ්ණො න ඛීයෙථ තථාගතස්ස

බුදුකෙනෙකුන් විසින් අනිකක් නො කියමින් කපක් මුළුලෙහි බුදුගුණ ම කීවද දීර්ඝ කාලයකින් කල්පය ගෙවී යනු මිස බුදුගුණ කියා නො නිමෙන බව මේ ගාථාවෙන් දක්වන ලදී. මේ මහා බුද්ධ ගුණස්කන්ධයෙහි පෘථග්ජනයන්ට අවිෂය බොහෝ අලෞකික ගුණද ඇත්තේ ය. සර්වාකාරයෙන් බුදුගුණ දන්නෝ බුදුවරයෝම ය. ශාරිපුත්‍රාදී මහරහතන් වහන්සේලා වුවද සර්වාකාරයෙන් බුදුගුණ දැන ගැනීමට සමත් නො වන්නාහ. ඒ ඒ පුද්ගලයන්ගේ බුදුගුණ දැනීමේ තත්වය දීඝනිකාය සම්පසාදනීය සූත්‍ර අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ.

ලෞකික මහජනයා තම තමා දත් පරිදි බුදුගුණ සිහි කරති. සකල ලෞකික මහජනයාට වඩා එක් සෝවාන් පුද්ගලයෙක් බුදුගුණ මහත් කොට අදහයි. සෝවාන් පුද්ගලයන් සියයකට දහසකට ද වඩා එක් සකෘදාගාමී පුද්ගලයෙක් බුදුගුණ මහත් කොට අදහයි. සකෘදාගාමීන් සියයකට දහසකට ද වඩා එක් අනාගාමී පුද්ගලයෙක් බුදුගුණ මහත් කොට අදහයි. අනාගාමීන් සියයකට දහසකට ද වඩා එක් අර්හත් පුද්ගලයෙක් බුදුගුණ මහත් කොට අදහයි. සාමාන්‍ය අර්හත් පුද්ගලයන්ට වඩා අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා බුදුගුණ මහත් කොට අදහති. අසූමහා ශ්‍රාවකයන් අතුරෙනුදු මහා කාශ්‍යප අනුරුද්ධ මහාකච්චාය මහාකොට්ඨිත යන මහා රහතන් වහන්සේලා බුදුගුණ මහත් කොට අදහති. උන්වහන්සේලාට වඩා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ද උන්වහන්සේලාගෙන් සැරියුත් මහ තෙරුන් වහන්සේ ද බුදුගුණ මහත් කොට අදහති. සැරියුත් මහ තෙරුන් වහන්සේටද වඩා එක් පසේ බුදු කෙනෙකුන් වහන්සේ බුදුගුණ මහත් කොට අදහති. සිවුරු කොන් එකිනෙක ගැටී සිටින පරිදි සක්වළ පුරා වැඩසිටින පසේ බුදුවරයන් වහන්සේලා සමූහයක් විසින් සිහි කරන බුදුගුණ වලට වඩා එක් ලොවුතුරා බුදු කෙනෙක් බුදුගුණ මහත් කොට අදහන්නහ.

ආර්යය පුද්ගලයන්ට මිස පෘතග්ජනයන්ට ගැඹුරු බුදුගුණ දත හැකි නො වතුදු වන්දනා පූජාවන් මහත්ඵල කර ගැනීමට පෘතග්ජනයන් විසින් දත හැකි බුදුගුණ දැනගැනීම ම ප්‍රමාණවත් බව කිය යුතු ය. පෘතග්ජනයන්ගේ බුදුගුණ දැනීමද අනේකාකාරය. ඇතැම්හු මඳක් බුදුගුණ දනිති. ඇතැම්හු බොහෝ දනිති. ඒ ඒ පුද්ගලයාගේ දැනීම අනුව පුණ්‍යඵලයේ අඩු වැඩි බව සැලකිය යුතු ය.

පුණ්‍යඵලය පිළිබඳ දැනීම් හෝ නො දැනීම් අනුව ද කුශලයාගේ අල්පඵල මහත්ඵල භාවය කිය යුතු ය. වැඳුම් පිදුම් කිරීමේදී පුණ්‍යඵලය නො දැන කරන්නහු ගේ කුශලය අල්ප ඵල වේ. මඳක් දන්නහු ගේ කුශලය මධ්‍යම ඵල වේ. බොහෝ දන්නහු ගේ කුශලය මහත් ඵල වේ.

කිං පන සම්මාසම්බුද්ධෙන සාරිපුත්තථෙරස්ස දින්නං මහප්ඵලං, උදාහු සාරිපුත්තත්ථෙරෙන සම්මාසම්බුද්ධස්සාති? සම්මාසම්බුද්ධෙන සාරිපුත්තත්ථේරස්ස දින්නං මහප්ඵලං, කස්මා? සම්මා සම්බුද්ධං ඨපෙත්වා අඤ්ඤො දානස්ස විපාකං ජානිතුං සමත්ථො නාම නත්ථි

(දක්ඛිණාවිභංග සුත්තට්ඨකථා)

මේ අටුවා පාඨයෙන් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සැරියුත් මහ තෙරුන් වහන්සේට දෙන දානය ය. සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට දෙන දානය ය. යන මේ දෙකින් වඩා මහත්ඵල විය යුත්තේ කවර දානයක් ද යන මේ ප්‍රශ්නය නඟා බුදුන් වහන්සේ විසින් සැරියුත් මහ තෙරුන් වහන්සේට දෙන දානය වඩා මහත්ඵල බව දක්වති. එයට හේතුව සැරියුත් මහ තෙරුන් වහන්සේට වඩා තථාගතයන් වහන්සේ දාන ඵලය දන්නා බවය යි කියති. ප්‍රතිග්‍රාහක ගුණසම්පත්තිය අනුවම දාන ඵලය කියතහොත් ශ්‍රාවකයකු වන සැරියුත් මහ තෙරුන් වහන්සේට දීමට වඩා බුදුන් වහන්සේට දීම මහත්ඵල බව කිය යුතු ය. තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේට වඩා ගුණයෙන් ඉතා පහත් වන සැරියුත් මහ තෙරුන් වහන්සේට දීම මහත්ඵල දැක්වීම පිනක් මහත්ඵල වීම පිළිබඳව ප්‍රතිග්‍රාහක ගුණයට වඩා දායකයාගේ අනුසස් දැනීම ප්‍රදාන කාරණයක් වන බව කිය යුතු ය. තථාගතයන් වහන්සේ හා සැරුයුත් මහ තෙරුන් වහන්සේ පිළිබඳ වූ මේ දාන කථාව උපමා කථාවෙකි. මෙයින් දානාදි ක්‍රියා කිරීමෙන් බුදුන්වහන්සේට හෝ සැරුයුත් මහ තෙරුන් වහන්සේට පින් සිදු වෙතැයි වරදවා නො දත යුතුය. මතු උත්පත්තියට හේතු වන තණ්හාව අර්හත්මාර්ගයෙන් සම්පූර්ණයෙන් නැසූ බුද්ධාදීන්ට පින් පව් සිදුවීමක් නැත. ඉහත කී අටුවා පාඨයෙන් දැක්වෙන්නේ පිනක් වෙත හොත් ඉතා හොඳින් දානයෙහි අනුසස් දන්නා වූ තථාගතයන් වහන්සේගේ දානය වඩා මහත්ඵල දානයක් වන බවය.

කුශලාකුශල වන්දනා

මිසදිටුවෝ ලෝකයෙහි ශ්‍රේෂ්ඨයෝ මොහුය, මොවුනට වැඳුම් පිදුම් කිරීමෙන් දෙලොවටම යහපතක් වන්නේ යයි සලකා දෙවිවරුන්ට වැඳුම් පිදුම් කෙරෙති. ඔවුන්ගේ ඒ වන්දනාව දෘෂ්ටි සහගත බැවින් අකුශලයකි. බෞද්ධයෝ ද යමක් කරවා ගනු පිණිසත් ලබා ගනු පිණිසත් දෙවියන්ට හා ඇතැම් උසස් අයටත් වඳිති. ඇතැම් බෞද්ධයෝ සමහරවිට ඒ අදහසින් භික්ෂූන්ට ද වඳිති. ලෝභ සහගත සිතින් කරන ඒ වැඳීම් ද අකුශල පක්ෂයට අයත් වේ. එහෙත් ඒවා අපායට යන තරමේ අකුශල් නොවේ. නො වැඳ සිටිය හොත් මොහුගෙන් නපුරක් විය හැකි යයි සලකා රාජාදීනට බිය නිසා වඳිති. එයත් කුශල පක්ෂයට අයත් වන්දනාවක් නොවේ. ජාතික සිරිත් වශයෙන් කුලසිරිත් වශයෙන් කරන වන්දනාවක් ද ඇත්තේ ය. කරන්නවුන්ගේ අදහස් අනුව ඒවා කුශලාකුශල දෙපක්ෂයටම අයිති විය හැකි ය. කවර පක්ෂයට අයත් වුව ද ඒවායේ ද සැලකිය යුතු විපාක දාන ශක්තියක් නැත්තේ ය. මුන් වහන්සේ පවින් වැළකී සිටින්නා වූ සිල්වත් වූ මෛත්‍රී කරුණාදී ගුණවලින් යුක්ත වූ කෙලෙස් නැති කළා වූ හෝ නැති කිරීමට උත්සාහ කරන්නා වූ හෝ උත්තම පුද්ගලයෙකැ යි සලකා ලාභාපේක්ෂාවෙන් තොරව ශුද්ධ චිත්තයෙන් තමාගේ ගෞරවය දැක්වීම් වශයෙන් ගුණවතුනට කරන වන්දනාව මහත්ඵල මහානිසංස දායක කුශල වන්දනාව ය.

වැඳුම් පිදුම් කිරීමට සුදුස්සෝ

ගුණයෙන් හා වයසින් වැඩි වූවෝ වැඳුම් පිදුම් කිරීමට සුදුස්සෝ ය. වන්දනාව පූජාව සත්කාරය මහත්ඵල වීමට බාධක වූ සකල ක්ලේශයන් නිරවශේෂයන් මතු නූපදනා පරිද්දෙන් ප්‍රහාරණය කර ඇති නිසා ද, වන්දනා පූජා සත්කාරයන් මහත්ඵල වීමට හේතු වන ශීලාදී අපරිමිත ගුණස්කන්ධයකින් යුක්ත වන නිසාද තථාගතයන් වහන්සේ ලෝකයෙහි වන්දනා පූජා සත්කාරයන්ට සුදුස්සන්ගෙන් අග්‍ර වූ සේක.

“නයිමස්මිං ලොකේ පරස්මිං වා පන

බුද්ධෙන සෙට්ඨො සදිසො ච විජ්ජති,

-

යමාහුණෙය්‍යානං අග්ගතං ගතො

පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිං”

(දක්ෂිණාවිභංග සුත්තට්ඨකථා)

“මේ ලෝකයෙහි හෝ අන් ලොවක හෝ බුදුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයෙක් හෝ සම වූවෙක් නැත. ඒ තථාගතයන් වහන්සේ පින් කැමති වන්නා වූ මහත්ඵල බලාපොරොත්තු වන්නා වූ පුද්ගලයන් විසින් පූජා සත්කාර කිරීමට සුදුසු පුද්ගලයන්ගෙන් අග්‍ර බවට පැමිණි සේක” යනු ඒ ගාථාවේ තේරුම ය.

ලෝකයෙහි පූජා සත්කාරවලට සුදුසු අන්‍ය පුද්ගලයන් හට තමන් විසින් වැඳුම් පිදුම් කිරීමට සුදුසු තමන්ට වඩා උසස් පුද්ගලයෝ ද ඇත්තාහ. තථාගතයන් වහන්සේට වනාහි තමන් විසින් ගරු බුහුමන් කිරීමට සුදුසු තමනට වඩා උත්තම පුද්ගලයෙක් නැත්තේ ය. සර්වකෙලෙසුන් නසා සර්වඥපදප්‍රාප්තව සිටින්නා වූ තථාගතයන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයකු නැති බව පුදුම කරුණක් නො වේ. බෝධිසත්ත්වයන් වහන්සේ මව්කුසින් බිහි වූ කෙණෙහි ම උතුරු දිග බලා සත් පියවරක් ගමන් කොට ලෝකය බලා වදාළ අවස්ථාවෙහි ද සොළොස් කපක් ආයු ඇති ක්ෂීණාශ්‍රව මහා බ්‍රහ්ම තෙමේ ද උන්වහන්සේට වැඳ “ඔබවහන්සේ ලෝකයෙහි මහා පුරුෂයාණෝ ය, නුඹ වහන්සේ ලෝකයෙහි අග්‍ර වන සේක. ජ්‍යෙෂ්ඨ වන සේක, ශ්‍රේෂ්ඨ වන සේකැ” යි ඉමහත් ප්‍රීතියෙන් ප්‍රකාශ කෙළේය. දිනක් තථාගතයන් වහන්සේ වෙත වේරඤ්ජ නම් මහළු බමුණෙක් පැමිණ පිළිසඳර කථා කොට මහළු බමුණන්ට ගරු බුහුමන් නො කිරීම ගැන තථාගතයන් වහන්සේට දෝෂාරෝපනය කෙළේය. එකල්හි තථාගතයන් වහන්සේ-

“යං හි බ්‍රාහ්මණ තථාගතො අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය වා මුද්ධාපිස්ස විපතෙය්‍ය”

“බ්‍රාහ්මණය! තථාගත තෙමේ යමකුට වඳී නම්, හුනස්නෙන් නැඟිට පෙර ගමන් කෙරේ නම්, ආසනයෙන් නිමන්ත්‍රණය කෙරේ නම්, තල් ගෙඩියක් නටුවෙන් ගිලීහී වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස ගිලිහී වැටේය” යි වදාළ සේක.

සකල ක්ලේශ ප්‍රහාණයන් පාරිශුද්ධියට පැමිණ සිටින්නා වූ ද ශීලාදි අනේක ගුණයන් ගෙන් යුක්ත වන්නා වූ පසේ බුදුවරු හා රහත්හු ද ඖදාරික ක්ලේශයන් ප්‍රහාණය කර සිටින සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්ය පුද්ගලයෝද වැඳුම් පිදුම් කිරීමට සුදුස්සෝ ය. ගිහිගෙය හැර පැවිදි බිමට බැස සාමණේර ශීල උපසම්පදා ශීලයන් ඇතුළු ගුණ ධර්ම රක්නා වූ පෘථග්ජන පුද්ගලයෝ ද සිල් රක්නා උපාසක උපාසිකාවෝ ද මාපියෝ ද සිල් රක්නා තාපසවරු ද වැඩි මහල්ලෝ ද වැඳුම් පිදුම්වලට සුදුස්සෝ වෙති.

වැඳි යුතු පිළිවෙල

ලොවුතුරා බුදුන්වහන්සේට සැමදෙනා විසින් ම වැඳිය යුතු ය. වයසින් කොතෙක් වැඩිවුව ද ගිහියා විසින් බාල පැවිද්දාට වැඳි යුතුය. පැවිද්දන් විසින් ගිහි මා පියනට නො වැඳිය යුතු ය. ගිහි මා පියන් විසින් පැවිදි දරුවන්ට වැඳිය යුතුය. වයසින් වැඩි වුව ද සාමණේරයන් විසින් වයසින් අඩු උපසම්පදා උපසම්පන්නයන්ට වැඳිය යුතුය. උපසම්පන්නයන් විසින් උපසම්පදාවේ වයස අනුව වැඳීම කළ යුතුය. වයසින් අඩු වුව ද කලින් උපසම්පදාව ලැබූ භික්ෂුවට පසුව උපසම්පදාව ලත් භික්ෂුව විසින් වැඳිය යුතුය. බාලයා රහත් වුව ද වැඩිමහළු පෘථග්ජන භික්ෂුවට වැඳිය යුතුය. ගරු බුහුමන් කළ යුතුය.

එක් සමයෙක් හි තථාගතයන් වහස්න්සේ මහ සඟන පිරිවරා විසාලා මහනුවර සිට සැවැත් නුවර බලා වැඩම කළ සේක. එසමයෙහි ෂට් වර්ගික භික්ෂුන්ගේ අතවැසි භික්ෂුහු පළමුවෙන් විහාරයට වැද මේවා අපගේ උපාධ්‍යයයන්ටය, මේවා අපගේ ආචාර්යයන්ටය, මේවා අපට ය කියා සඟසතු සෙනසුන් වෙන් කර ගත් හ. නිදන අසුන් වෙන් කර ගත්හ. එකල්හි ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ බුදුපාමොක් මහසඟන පසුපසින් වැඩම කොට ආවාසයක් නො ලැබ සැතපීමට අසුනක් නොලැබ ගසක් මුල වැඩ හුන් සේක. තථාගතයන් වහන්සේ රාත්‍රියේ අවසාන භාගයේ නැගිට කැස්සාහ. සැරියුත් මහ තෙරණුවෝද කැස්සාහ. තථාගතයන් වහන්සේ “මෙහි කවරෙක්දැ”යි වදාළ සේක. “ස්වාමිනී, මම ශාරිපුත්‍රයෙමි” යි සැරියුත් හිමියෝ කීහ. “තෙපි මෙහි කුමට සිටින්නහුදැ” යි වදාළ කල්හි සැරුයුත් හිමියෝ කරුණ තථාගතයන් වහන්සේට සැලකළහ.

තථාගතයන් වහන්සේ ඒ කරුණෙන් භික්ෂු සංඝයා රැස් කරවා “මහණෙනි, සවග මහණුන්ගේ ගෝලයෝ බුදුපාමොක් මහසඟනට ඉදිරියෙන් ගොස් ආවාස වෙන් කර ගනිත් ය, සයනාසන වෙන් කර ගනිත්ය යන මේ කරුණ සැබෑදැ” යි අසා “සැබෑය” යි භික්ෂූන් පිළිතුරු දුන් කල්හි, ඒ කරුණ ගැන ගර්හා කොට දැහැමි කථාවක් කොට මෙසේ වදාළ සේක.

“මහණෙනි, ප්‍රධානාසනය, පළමුවෙන් දෙන පැන්, පළමුවෙන් දෙන භෝජනය පිළිගැනීමට කවරෙක් සුදුසු වේද?”

එකල්හි බොහෝ භික්ෂුහු කැත්කුලයෙන් පැවිදි වූ මහණ සුදුසු ය, බමුණු කුලයෙන් පැවිදි වූ මහණ සුදුසු ය, ගෘහපති කුලයෙන් පැවිදි වූ මහණ සුදුසු ය, සෞත්‍රාන්ත්‍රික භික්ෂුව සුදුසු ය, විනයධර භික්ෂුව සුදුසු ය, ධර්මකථික භික්ෂුව සුදුසු ය, ධ්‍යානලාභී භික්ෂුව සුදුසු ය යනාදීන් තම තමන් ගේ අදහස් පැවසූහ. එකල්හි තථාගතයන් වහන්සේ තිත්තිර ජාතකය වදාරා එයින් වැඩිමහල්ලන්ට ගරු බුහුමන් කළ යුතු බව දන්වා භික්ෂූන් අමතා,

“අනුජානාමි භික්ඛවෙ! යථාබුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමිචිකම්මං අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං”

යනුවෙන් “මහණෙනි! වැඳීම, දුටුවිට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, පවන් සැලීම ආදී වත් කිරීම, අග්‍රාසනය, අග්‍රෝදකය, අග්‍ර පිණ්ඩය යන මේවා වැඩිමහළු පිළිවෙලින් පිළිගැනීමට අනු දනිමි” යි වදාළ සේක.

භික්ෂූන් වහන්සේ විසින් නො වැඳිය යුතු පුද්ගලයෝ

“දස ඉමෙ භික්ඛවෙ! අවන්දියා, පුරෙ උපසම්පන්නෙන පච්ඡා උපසම්පන්නො අවන්දියො, අනුපසම්පන්නො අවන්දියො, නානාසංවාසකො බුඩ්ඪතරො අධම්මවාදි අවන්දියො, මාතුගාමො අවන්දියො, පණ්ඩකො අවන්දියො, පරිවාසිකො අවන්දියො, මූලායපටිකස්සනාරහො අවන්දියො, මානත්තාරහො අවන්දියො, මානත්තචාරිකො අවන්දියො, අබ්භානාරහො අවන්දියො, ඉමෙ ඛො භික්ඛවෙ! දස අවන්දියො.”

(චූලවග්ගපාලි සේනාසන්ක්ඛන්ධක)

තේරුම :

“මහණෙනි, මේ පුද්ගලයෝ දස දෙනා නො වැඳිය යුත්තෝය. පළමුවෙන් උපසපන් වූවහු විසින් පසුව උපසපන් වූවහිට නො වැඳිය යුතුය. අනුසම්පන්නයන්ට නො වැඳිය යුතුය. නානා සංවාසක අධර්මවාදී වැඩිමහළු භික්ෂුවට නො වැඳිය යුතුය. ස්ත්‍රියට නො වැඳිය යුතුය. පණ්ඩකයාට නො වැඳිය යුතුය. පිරිවෙස් පුරන භික්ෂුවට නො වැඳිය යුතුය, මූලාය පටිකස්සනයට සුදුස්සාට නො වැඳිය යුතුය. මානතට සුදුස්සාට නො වැඳිය යුතුය, මානත පුරන තැනැත්තාට නො වැඳිය යුතුය, අබ්භාන කර්මයට සුදුසුව සිටින තැනැත්තාට නො වැඳිය යුතුය, මහණෙනි මේ දස දෙනා නො වැඳිය යුත්තෝ ය.”

නො වැඳිය යුත්තනට වඳින්නාවූ භික්ෂුවට දුකුළා ඇවැත් වේ. මෙහි දැක්වෙන පාරිවාසික, මූලායපටිකස්සනාරහ, මානත්තාරහ, මානත්තචාරික, අබ්භානාරහ පුද්ගලයෝ කවරහුද යන වග විනය නො දත අයට තේරුම් ගත නො හැකිය. ග්‍රන්ථය මහත් වන බැවින් ද පොදු ජනයාට එයින් වන විශේෂ ප්‍රයෝජනයක් නැති නිසාද ඒ පුද්ගලයන් ගැන විස්තර නො කරනු ලැබේ.

“තයො මෙ භික්ඛවෙ! පුග්ගලා වන්දියා: පච්ඡා උපසම්පන්නෙන පුරෙ උපසම්පන්නො වන්දියො, නානා සංවාසකො බුඩ්ඪතරො ධම්මවාදි වන්දියො, සදෙවකො භික්ඛවෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය තථාගතො අරහං සම්මාසම්බුද්ධො වන්දියො.”

(චුල්ලවග්ග සොනාසනක්ඛන්ධක)

තේරුම :

“මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන වැඳිය යුත්තෝ ය. පසුව උපසපන් භික්ෂුව විසින් පෙර උපසපන් භික්ෂුවට වැඳිය යුතුය. නානා සංවාසක ධර්මවාදි වැඩිමහළු භික්ෂුවට වැඳිය යුතුය. මහණෙනි දෙවියන් මාරයන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ත්ව සමූහයෙන් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සෑම දෙනා විසින් වැඳිය යුතු වන්නාහ.”

වන්දනීය වස්තු

ජන සංග්‍රහය පිණිස තථාගතයන් වහන්සේ ජනපද චාරිකාවෙහි වැඩම කළ කල්හි සැවැත් නුවර වාසීහු සුවඳ මල් ආදී පූජා වස්තූන් ගෙන දෙව්රම් වෙහෙරට පැමිණ සර්වඥයන් වහන්සේ නොදැක, ඒ වස්තූන් පුදන්නට කෙනෙකු හෝ තැනක් නැතිව බුදුන්වහන්සේ වැඩවසන ගඳකිළිය දොරකඩ බිම හෙළා යන්නට වූහ. එයින් ඔවුනට සතුටක් ලබන්නට නො හැකි විය. අනේපිඬු මහසිටාණෝ ඒ බව දැක ලෝකනාථයන් වහන්සේ වෙත ගොස් “ස්වාමිනි! සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ජනපද චාරිකාවෙහි වඩනා කල්හි මේ විහාරය හිස් වන්නේය. සුවඳ මල් ආදිය ගෙන පිදීම සඳහා පැමිණෙන සැදැහැවතුන්ට ඒවා පිදීමට තැනක් නැත්තේ ය. ඒ බව තථාගතයන් වහන්සේට සැලකොට මෙහි පූජනීය ස්ථානයක් කළ හැකිද නො හැකිද කියා උන්වහන්සේගෙන් දැනගනු මැනව” යි සැල කළහ. සිටුතුමාගේ ඉල්ලීම පරිදි අනඳ මහ තෙරුන් වහන්සේ සුදුසු අවස්ථාවක් බලා මහා කාරුණිකයන් වහන්සේ වෙත එළඹ “ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! චෛත්‍ය කොතෙක් වන්නේදැ” යි විචාළහ. “ආනන්දය, චෛත්‍ය තුනක් ඇත්තේය” යි තථාගතයන් වහන්සේ වදාළහ. “ස්වාමිනි, ඒවා කවරහුද” යි පිළිවිසු කල්හි “ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේශික චෛත්‍යය යන මේවාය” යි වදාළ සේක. එකල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි! නුඹ වහන්සේ ජීවමාන කල්හි චෛත්‍ය කළ හැකිදැ” යි පිළිවිසූහ. එකල්හි තථාගතයන් වහන්සේ-

“ආනන්ද, සාරීරිකං සක්කා. තඤ්හි බුද්ධානං පරිනිබ්බුතකාලෙ හොති. උද්දේසිකං අවත්ථුකං මමායනමත්තමෙව හොති. බුද්ධෙහි පන පරිභුත්තො මහාබොධි බුද්ධෙසු ධරන්තෙසු පරිනිබ්බුතෙසු’ පි චෙතියමෙව.”

යනුවෙන් “ආනන්දය! ශාරීරික චෛත්‍ය නො කළ හැකිය. එය බුදුවරුන් පිරිනිවි පසු ඇතිවේය. උද්දේශික චෛත්‍යයට ශාරීරික පාරිභෝගික වස්තුවක් නැත. එය සිතින් ආදරය කිරීම් මාත්‍රය ම ය. බුදුවරුන් පරිභෝග කළ බෝධිය බුදුවරයන් ජීවමාන කල්හි ද චෛත්‍යය මැ” යි වදාළ සේක.

එකල්හි ආනන්ද ස්ථවිරයන් වහ්ස්න්සේ “ස්වාමීනි! නුඹ වහන්සේ බැහැර වැඩම කළ කල්හි මේ දෙව්රම් වෙහෙර පිළිසරණ නැතියක් වන්නේය. මිනිසුන්ට පූජනීය ස්ථානයක් මෙහි නැත. එබැවින් මහාබෝධියෙන් බීජයක් ගෙන්වා ජේතවන ද්වාරයෙහි රෝපණය කරවන්නෙමි” යි සැල කළහ. “යහපති ආනන්ද! එසේ කළ කල්හි මා මෙහි නිරතුරු වාසය කරන්නාක් වැනි වන්නේය” යි තථාගතයන් වහන්සේ වදාළහ.

තෙරුන් වහන්සේ කොසොල් රජුටත් අනේපිඬු සිටුටත් විශාඛා උපාසිකාවටත් දන්වා ජේතවන ද්වාරයෙහි වළක් කණවා මහා බෝධියෙන් ඵලයක් ගෙනෙනා ලෙස මුගලන් මහ තෙරුන් වහන්සේට ආරාධනා කළහ. උන්වහන්සේ යහපතැයි ගිවිස අහසින් මහ බෝ මැඩට ගොස් නටුවෙන් ගිලිහී වැටෙන බෝ ගෙඩිය බිමට එන්නට මත්තෙන් සිවුරට ගෙන දෙවුරම් වෙහෙරට ගෙනැවිත් ආනන්ද ස්ථවිරයන්ට දුන්හ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ “අද බෝධිය රෝපණය කරමු” යි කොසොල් රජුට දැන්වූහ. රජතුමා සවස් කාලයෙහි මහ පිරිවරින් සියළු උපකරණද ගෙන්වා ගෙන පැමිණියේය. අනේ පිඬු සිටුතුමා හා විශාඛාවන් ද අන් බොහෝ සැදැහැවත්හු ද පැමිණියහ. තෙරුන් වහන්සේ බෝධි රෝපණ ස්ථානයෙහි රන්කටාරමක් තබවා එහි පතුල සිදුරු කරවා එහි සුවඳ කලල් පුරවා “මෙය රෝපණය කරනු මැනව” යි කියා බෝ ඵලය රජුට දුන්හ. හෙතෙමේ “මේ රජය සෑමකල්හි අප අත තිබෙන්නේ නැත. මා රෝපණය කලහොත් රජය හිමි කරගත් අනිකකු විසින් අනාගතයේ මේ පූජනීය වස්තුව විනාශ කරන්නටත් බැරි නතය” යි සිතා බෝ ඵලය අනේ පිඬුසිටු තුමා අත තැබීය. සිටුතුමා එය රන් කටාරමෙහි රෝපණය කළේය. එකෙණෙහි බොහෝ ජනයා බලා සිටියදීම එයින් මහත් වූ අංකුරයක් පැන නැගී පස් රියනක් උස් කඳ ඇති සතර දිගට හා උඩට පනස් රියන් අතු ඇති මහා බෝ රුකක් විය. ඒ ප්‍රාතිහාර්යය දැක පැහැදුනා වූ රජ තෙමේ රන් රිදී කල අටසියයක සුවඳ පැන් පුරවා මල් පොකුරු තබා බෝධිය වටා තැබවීය. සත් රුවන් වේදිකාවක් කරවීය. රන් මිශ්‍ර වැලි බෝධිය වටා විසිර වීය. ප්‍රාකාරයක් කරවා සත් රුවන් දොරටු හල් කරවීය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ “ස්වාමිනි! නුඹ වහන්සේ මහා බෝධි මූලයේ සමවන් සමාපත්තින්ට මා රෝපණය කළ බෝ රුක මුලද වැඩ හිඳ මහජනයාට යහපත පිණිස සමවැදුන මැනවැ” යි ආරාධනා කළහ. “ආනන්දය! මා මහබෝමැඩ සමවන් සමවත් වලට සමවැද හිඳීම දැරිය හැකි අන් බිමක් නැතැය” යි බුදුන්වහන්සේ වදාළ සේක. “එසේ නම් ස්වාමිනි! මහජනයාට හිත පිණිස මේ බිමට දැරිය හැකි පමණ සමවත්වලට සමවදිමින් මේ බෝධිය පරිභෝග කරන සේක්වා” යි ආරාධනා කළහ. බුදුන්වහන්සේ එක් රැයක් සමාපත්තිවලට සමවදිමින් එහි වැඩසිට බෝධිමූලය පරිභෝග කළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් රෝපණය කරවූ බැවින් ඒ බෝධිය ආනන්ද බෝධිය නමින් ප්‍රකට විය. උන්වහන්සේ කෝශල රාජාදීන්ට දන්වා මහත් වූ බෝධි පූජාවක් ද කරවූහ. ඒ බෝධි පූජා නිමිත්ත කොට තථාගතයන් වහන්සේ කාලිංග බෝධි ජාතකය වදාළ සේක.

චෛත්‍ය තුන් වර්ගය

ඉහත දැක්වූයේ කාලිංග බෝධි ජාතකයේ නිදාන කතාව ය. එහි දැක්වෙන පරිදි ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේශික චෛත්‍යය යි චෛත්‍ය තුන් වර්ගයක් ඇත්තේය. මේ චෛත්‍ය තුන් වර්ගය නියම කර ඇත්තේ බුදු රදුන් නැති කල්හි උන්වහන්සේට කරන වැඳුම් පිදුම් ඒ චෛත්‍යයන්ට හෝ චෛත්‍ය ස්ථානයන්හි හෝ කිරීම පිණිස ය. චෛත්‍ය යනු සංස්කෘත වචනයකි. පාළි වචනය චේතිය යනුයි. පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ ශාරීරික ධාතූන් උන්වහන්සේගේ ශාරීරික කොටස්ම වන බැවින් ඒවා ද තථාගතයන් වහන්සේට මෙන්ම වැඳුම් පිදුම් කිරීමට ගරු බුහුමන් කිරීමට සුදුසු ය. ඒ ධාතූන් වහන්සේලා තැන්පත් කොට කරන ස්ථූපද එසේම වැඳුම් පිදුම් කිරීමට සුදුසු බැවින් ශාරීරික චෛත්‍ය නම් වේ. බුදුන්වහන්සේ විසින් පරිභෝග කළ ශ්‍රී මහ බෝධීන් වහන්සේද පාරිභෝගික චෛත්‍යය ය. ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවන්ගෙන් හා බීජයන්ගෙන් ද ඇති වූ බෝධි වෘක්ෂයෝ ද පාරිභෝගික චෛත්‍යයෝ ය. ඒ පරම්පරාවට අයත් සකළ බෝධි වෘක්ෂයෝම ද පාරිභෝගික චෛත්‍ය වශයෙන් සළකනු ලැබෙත්. තථාගතයන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර චීවරාදී වස්තූන් ද පූජනීයෝ ය. ඒවා තැන්පත් කොට කරන ලද චෛත්‍යයෝ ද පාරිභෝගික චෛත්‍යයෝය. ශාරීරික පාරිභෝගික වස්තු නො පිහිටුවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාසත්කාර කිරීම පිණිස පිළියෙළ කැරුණු ප්‍රතිමා හා ස්ථූපයෝ උද්දේශික චෛත්‍යයෝය. “බුද්ධ පටිමා උද්දිස්සක චේතියං” යනුවෙන් ඛුද්දක පාඨ අටුවාවෙහි බුද්ධ ප්‍රතිමාව උද්දේශික චෛත්‍ය බව දක්වා තිබේ. පුලිනුප්පාදකත්ථෙරාපදාන, පුලිනථුපියත්ථෙරාපදාන යනාදිය අනුව බලන කල්හි ශාරීරික පාරිභෝගික වස්තු නො පිහිටුවා බුදුන්වහන්සේ උදෙසා කරන ස්ථූපයත් උද්දේශික චෛත්‍ය වශයෙන් පිළිගත යුතුය. ශාරීරික පාරිභෝගික වස්තුන් පිහිටුවා කරන ස්ථූපයෝ ඒ වස්තූන්ගේ පූජනීය භාවය නිසා චෛත්‍යය වෙති. ඒ වස්තූන් නැතිව කරන බුදුපිළිම හා ස්ථූප මේ බුදුන්වහන්සේ ගේ ප්‍රතිමාවය, මේ බුදුන්වහන්සේ උදෙසා කළ ස්ථූපය කියා මහජනයා කරන ගෞරවාදරය නිසා චෛත්‍ය වේ. “උද්දේසිකං අවත්ථුකං මමායනමත්තමේව හොති” යන දේශනා පාඨයෙන් දැක්වෙන්නේ ඒ අදහසය. ඇතැම්හු ඒ පාඨය වරදවා තේරුම් කරමින් “උද්දේශික චෛත්‍යය කියා වස්තුවක් නැත. එබැවින් බුදුපිළිමය උද්දේශික චෛත්‍යය නො වේය” යි ජනයා මුළා කෙරෙති. චෛත්‍යයක් වන්නට වස්තුවක් තිබිය යුතුමය. වස්තුවක් නැතහොත් චෛත්‍යයක් ද නැත. වස්තුවක් නැතිව චෛත්‍යයක් කීම තේරුමක් නැති පිස්සු කථාවෙකි. “උද්දේසිකං අවත්ථුකං” යන පාඨයෙන් දැක්වෙන්නේ උද්දේශික චෛත්‍යයට ශාරීරික පාරිභෝගික වස්තුවක් නැති බවය. කියන ලද චෛත්‍ය තුන් වර්ගය බුවරුන් පිළිබඳ චෛත්‍යයෝය. ධර්ම චෛත්‍යය කියා තවත් චෛත්‍යයක්ද ඇත්තේ ය. දහම් පොත්පත් තැන්පත් කොට කරන ස්ථූපය ධර්ම චෛත්‍යය ය. දහම් පොත්මද ධර්ම චෛත්‍ය වශයෙන් සළකනු ලැබේ. මෙකල බෞද්ධයන් චෛත්‍ය යන නම ව්‍යවහාර කරන්නේ ස්ථූපවලට පමණෙකි.

චෛත්‍ය වන්දනාව

චෛත්‍ය වන්දනාව හා පූජාව යන දෙයාකාරයකින් කළ හැකිය. දාගැබ බුදු පිළිම බෝරුක් වෙත ගොස් බුදුන්වහන්සේ සිහි කොට බුදුගුණ සිහි කොට බුදුනට වැඳීමක් පිදීමක් වශයෙන් ඒ තැන්වලදී වැඳුම් පිදුම් කිරීම එක් ක්‍රමයකි. එසේ වඳින්නහුට බුදුරදුන්ට වත් කිරීමේ සිතින්ම මලසුන් පිරිසිදු කිරීම්, මළු හැමදීම්, කසළ ඉවත් කිරීම්, තණ ආදිය ඉවත් කිරීම්, චෛත්‍ය පවිත්‍ර කිරීම්, බෝ රුක්වලට පැන් වක් කිරීම් ආදී වත් කළ හැකිය. එසේ කරන්නහුට ඇති වන කුසල් කෙළින්ම බුදුරදුන් අරමුණු කොට ඇති වන ඒවා බැවින් වඩා උසස් වේ.

මේ බුදුරදුන්ගේ ධාතු පිහිටි චෛත්‍යයෙක, බුදුරදුන් පරිභෝග කළ වස්තුවෙක, බුදුරදුන්ගේ පිළිරුවකැයි සලකා ඒ චෛත්‍යවලට වැඳුම් පිදුම් කිරීම අනිත් ක්‍රමය ය. එසේ වැඳුම් පිදුම් කරන්නවුන්ට ඇතිවන කුශලය චෛත්‍යයන් අරමුණු කොට ඇති වන්නක් බැවින් පළමු ක්‍රමයෙන් ඇතිවන කුශල් තරම් උසස් නැත. එහෙත් ඒවා සුළු කොට නො සිතිය යුතුය. ඒවාත් ත්‍රිවිධ සම්පත්තිය සලසා දෙන කුසල්ය.

“යෙහි කෙචි ආනන්ද, චෙතිය චාරිකං ආහිණ්ඩන්තා පසන්න්චිත්තා කාලං කරිස්සන්ති සබ්බේ තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපප්ජ්ජිස්සන්ති.”

යනුවෙන් “ආනන්දය, චෛත්‍ය වන්දනාවෙහි අවිදින්නා වූ යමක් පහන් සිතින් කලුරිය කෙරෙත් ද ඔවූහු මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපදනාහ” යි මහ පිරිනිවන් සුතුරෙහි වදාරා ඇත්තේය. චෛත්‍ය වන්දනාව කරන තැනැත්තන් විසින් බොහෝ පින් සිදු කර ගැනීමට නම් වන්දනා කිරීම් මාත්‍රයෙන් නො නැවතී මලසුන් පිරිසිදු කිරීම් ඇමදීම් චෛත්‍ය පිරිසිදු කිරීම් ආදියත් කළ යුතුය.

“අසුක විහාරෙ චෙතියං වන්දිස්සාමිති නික්ඛමිත්වා පසන්නචිත්තා අන්තරා කාලං කරොන්තා පි අනන්තරායෙන සග්ගෙ පතිට්ඨහිස්සන්ති”

යනුවෙන් අසවල් විහාරයේ චෛත්‍ය වඳින්නෙමැ යි නික්ම ගොස් පහන් සිතින් අතරමග කලුරිය කරන්නෝ ද වැරදීමක් නැතිව ස්වර්ගයෙහි උපදනාහ යි මහාපරිනිබ්බාන සුත්තට්ඨකථාවෙහි දක්වා ඇත්තේ ය.

සම්බුද්ධ පරිනිර්වාණය

ශ්‍රී දේහය ජරපත් වී දෙවි මිනිසුන්ට අප්‍රිය වන්නට කලින් පරමායුෂයෙන් පසෙන් කොටසක් ශේෂව තිබියදී පිරිනිවීම ලොවුතුරා බුදුවරයන්ගේ ස්වභාවයකි. ජන්මයෙන් අසූවැන්න වූ සම්බුද්ධත්වයට පැමිණීමෙන් පන්සාලිස් වැන්න වූ වසරෙහි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර සමීපයෙහි වූ බේලුව නම් ගමෙහි අන්තිම වරට වස් එළඹුණ සේක. එහිදී උන්වහන්සේට ඉතා බලවත් මාරාන්තික රෝගයක් හට ගත්තේය. බලවත් දුඃඛ වේදනාවද ඇති විය. උන්වහන්සේ ඒ වේදනාවන්ට අනුකූලව කෙඳිරීමක් ඒ මේ අත පෙරළීමක් නො කොට සිහිනුවණින් සියළු වේදනා ඉවසූ සේක. ආබාධය පිරිනිවීමට තරම් බලවත් වුවද “තමන් වහන්සේගේ උපස්ථායකයනට නො දන්වා භික්ෂු සංඝයාට නො දන්වා පිරිනිවීම නුසුදුසුය.” යි සිතා වදාරා ආබාධය වීර්යයෙන් යටපත් කොට ජීවිතය පවත්වා ගැනීමට සිතා ගත්හ. ඉක්බිති උන්වහන්සේ බුදු වන දිනයෙහි මහ බෝ මැඩදී විදර්ශනා කළ අයුරු රූපසත්තක අරූපසත්තක ක්‍රමයෙන් විස්තර වශයෙන් නාම රූපයන් විදර්ශනා කොට ඒ විදර්ශනාවේ බලයෙන් ශාරීරික වේදනා දුරු කොට ඉදිරියට දස මසක් ගතවන තුරු ඒ වේදනාවන් නැවත ඇති නො වන පරිදි සමාපත්තියට සමවන් සේක. එයින් රෝගය සුවවිය.

සුවය ලැබීමෙන් පසු තථාගතයන් වහන්සේ විහාරයෙන් නික්ම විහාච්ඡායාවෙහි පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වෙත එළඹ වැඳ “ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! දැන් නුඹ වහන්සේට සනීප පෙනේ. නුඹ වහන්සේගේ රෝගය නිසා මාගේ ශරීරය ද තද වී බර වී ගියේය. මට දිශා පවා තේරුම් ගත නො හැකි වී ගියේය. සතිපට්ඨානාදී ධර්ම නොවැටහී ගියේය. ස්වාමීනි! මට සැනසිල්ලට කරුණක් තිබුණේ පිරිනිවීමේ ලකුණක් වශයෙන් නුඹවහන්සේ වීසින් භික්ෂු සංඝයා අරභයා යම් කිසිවක් නො වදාළ බව පමණෙකැ” යි සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය! භික්ෂු සංඝයා හට මාගෙන් බලාපොරොත්තු වන්නට දෙයක් නැත. ආනන්දය! ගුරුමුෂ්ටිය වශයෙන් කිසිවක් ඉතිරි නො කොට සියල්ලන් සම්පූර්ණ කොට ම මා විසින් ධර්මය දේශනා කර ඇත්තේය. මාගේ ගුරුමුෂ්ටිය දීමක් නැත. ආනන්දය! භික්ෂු සංඝයා ගැන යම්කිසි ප්‍රකාශයක් කිරීමට ඇති වන්නේ මේ සංඝයා සැම කල්හි මා විසින්ම පරිහරණය කළ යුතුය යන අදහස ඇතහොත් ය. එබඳු අදහසක් තථාගතයන්ට නැතය” යි වදාල සේක. ඉක්බිති “ආනන්දය, දැනට මම දිරූ සිරුරු ඇති මහල්ලෙක් වෙමි. අසූ අවුරුදු වියට පැමිණ සිටිමි. ආනන්දය! යම් විටෙක තථාගත තෙමේ නිවන අරමුණු කොට ඇති චිත්ත සමාධියෙන් වාසය කෙරේද එසමයෙහි තථාගතයන්ගේ කයට පහසු වන්නේය. ආනන්දය! එ බැවින් තෙපිද තමාට තමාම පිහිට කොට වෙසෙව්” යයි ද අනුශාසනා කළ සේක.

තථාගත පරිනිර්වාණයට සමීපව ඇති මේ කාලයේදී සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ද පිරිනිවන් පා වදාළහ. තථාගතයන් වහන්සේ උන්වහන්සේලාගේ ධාතූන් පිහිටුවා චෛත්‍යක් කරවා රජගහ නුවරින් බික්සඟන හා නික්ම ගොස් ගංගා නදී තීරයට පැමිණ එහිදී සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳ ධර්ම දේශනයක් කොට එයින් නික්ම විසාලා මහ නුවරට වැඩවදාරා පසුදින ආනන්ද ස්ථවිරයන් හා චාපාලචේතිය නම් විහාරයට පැමිණ එහි වැඩහිඳ විසල් පුරය හා ඒ සමීපයේ පිහිටි විහාරවල රමණීය බව වදාරා “යමකු විසින් සතර සෘධිපාදයන් මනා කොට වඩනා ලද නම් ඔහුට කල්පයක් වුවද ජීවත් විය හැකිය. ආනනදය! තථාගතයන් විසින් සතර සෘධිපාදයෝ මනා කොට වඩනා ලදහ. ආනන්දය! තථාගතයන්ට කැමති නම් කල්පයම වුවද එයට වැඩි කලක් වුවද ජීවත් විය හැකිය.” යි වදාළ සේක. ඒ අවස්ථාවේදී මාර බාධාව නිසා ආනන්ද ස්ථවිරයන් වහන්සේට බුදුන්වහන්සේගේ අදහස තේරුම් ගත නොහැකි විය. එ බැවින් උන්වහන්සේ ලෝකානුකම්පාව පිණිස කල්පය මුළුල්ලෙහි වැඩ සිටිනා ලෙස තථාගතයන් වහන්සේට ආරාධනා නොකළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ සමීපයෙන් ඉවත් වූ පසු මාරයා පැමිණ පිරිනිවන් පානා ලෙස ඇරයුම් කළේය. එකල්හිම තථාගතයන් වහන්සේ-

“අප්පොස්සුක්කො ත්වං පාපිම! හොහි, න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති”

“පාපී මාරය! නුඹ වෙහෙස නොවන්න. වැඩිකල් නොගොස් මෙයින් තෙමසකට පසු තථාගතයන් වහ්න්සේගේ පිරිනිවීම වන්නේය.” යි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ තෙමසකින් ඔබ ජීවත්වීමේ අදහස හළ සේක. එකෙණෙහි මහ පොළොව කම්පිත විය. හාත්පස අහසෙහි අකුණු පුපුරන්නට විය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ භූමිකම්පාවට හා හෙන පිපිරීමට හේතු විචාළහ. තථාගතයන් වහන්සේ එයට හේතු වදාළ කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ මහත් සංවේගයට පැමිණ-

“තිට්ඨතු භන්තෙ භගවා කප්පං තිට්ඨතු සුගතො කප්පං, බහුජන හිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙව මනුස්සානං.”

යනුවෙන් ලෝකානුකම්පාව පිණිස කල්පය මුළුල්ලෙහි වැඩසිටින ලෙස තථාගතයන් වහන්සේට ආරාධනා කළහ. උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කොට ආනන්ද ස්ථවිරයන් වහන්සේට ශෝකය සංසිඳවා ගැනීමට කරුණුද වදාරා තථාගතයන් වහන්සේ තෙමසකින් පිරිනිවන් පානා බව වදාළහ. ඉක්බිති තථාගතයන් වහන්සේ මහා වනයෙහි කූටාගාර ශාලාවට වැඩම කොට භික්ෂු සංඝයා රැස් කරවා සර්වඥ ශාසනයාගේ චිරස්ථිය පිණිස තමන් වහන්සේ විසින් විශේෂයෙන් දැන දේශනය කළ සතිපට්ඨාන සතරය, සම්‍යක් ප්‍රධාන සතරය, සෘධිපාද සතරය, ඉන්ද්‍රිය පසය, බල පසය, බෝධ්‍යංග සතය, ආර්ය අෂ්ඨාංගික මාර්ගයය යන මේ ධර්ම මනාව උගෙන පුරුදු කළ යුතු බව වදාරා ධර්මානුශාසනා කොට තෙමසකින් තමන් වහන්සේ පිරිනිවන් පානා බව ද වදාළ සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේසාලි පුරයෙහි පිඬු පිණිස හැසිර පස්වරු කාලයේ වේසාලියෙන් නික්ම වේසාලි පුරය දෙස හැරී බලා ආනන්ද ස්ථවිරයන් වහන්සේ අමතා මේ මගේ අන්තිමවරට වේසාලි නගරය දැකීම යැයි වදාළ සේක. විසල් පුර වැසි ලිච්ඡවීහු එහි නාගාපලොකිත චේතිය නමින් චෛත්‍යයක් කරවා වැඳුම් පිදුම් කළහ.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ මහා සංඝයාද කැටුව භණ්ඩග්‍රාමයට වැඩ එහි වෙසෙමින් ශීල සමාධි ප්‍රඥාවන් පිළිබඳව බොහෝ දම් දෙසමින් වාසය කොට එයින් නික්ම හස්තිග්‍රාම ආමග්‍රාම ජම්බුග්‍රාම යන ගම්වලටද වැඩම කර ඒවා පසු කොට භෝග නගරයට පැමිණ ආනන්ද චෛත්‍ය නම් වෙහෙරෙහි වෙසෙමින් භික්ෂූන් අමතා “චත්තාරො මෙ භික්ඛවෙ! මහාපෙදෙසෙ දෙසිස්සාමි” යනාදීන් සතර මහා අපදේශයන් වදාළ සේක. සතර මහා අපදේශ නම් නියම බුද්ධ ධර්මය කුමක්ද යන බව තේරුම් ගැනීමට උපකාර වන උපදේශ සතරෙකි. තථාගතයන් වහන්සේ ආනන්ද චෛත්‍ය නම් විහාරයෙහි හිඳ ශීල සමාධි ප්‍රඥාවන් පිළිබඳව ම බෙහෙවින් දම් දෙසමින් වැඩ සිට මහාසංඝයා හා පාවානුවර කර්මාරපුත්‍ර චුන්දගේ අඹ උයනට වැඩම කළ සේක. ඒ බව ඇසූ චුන්ද තථාගතයන් වහන්සේ වෙත එළඹ දහම් අසා පසු දින සිය නිවසෙහි දන් පිළි ගන්නා ලෙස ආරාධනය කළේය. තථාගතයන් වහන්සේ ඔහුගේ ආරාධනය පිළිගත් සේක. චුන්ද තථාගතයන් වහන්සේ විසින් තමාගේ ආරාධනාව ඉවසා වදාළ බව දැන පසුදින සිය නිවසෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයන් හා සූකර මද්දවය ද පිළියෙල කොට මහා සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා තථාගතයන් වහන්සේගේ නියමය පරිදි සූකර මද්දවය සහිත දානය තථාගතයන් වහන්සේටත් ඉතිරි ඛාද්‍ය භෝජනයන් භික්ෂු සංඝයාටත් පිළිගැවීය. වළඳා අවසානයෙහි කර්මාරපුත්‍ර චුන්ද හට දහම් දෙසා තථාගතයන් වහන්සේ ඉන් නික්මුණු සේක. එය තථාගතයන් වහන්සේ පිරිනිවන් පානා දිනයය. තථාගතයන් වහන්සේ බේළුව ගමෙහි වස් එළඹ විසූ කාලයේ උන්වහන්සෙට ඇතිවූ ලෝහිත පක්ඛන්දිකා නම් වූ දරුණු අතීසාර රෝගය සමවත් බලයෙන් යටපත් කළ කාලය ඒ දිනට අවසන් විය. එ බැවින් ඒ රෝගය එදින නැවත මතු විය. කර්මාරපුත්‍ර චුන්ද විසින් පිළියෙල කර පිළිගැන්වූ සිනිඳු ඕජාවත් ආහාරය වළඳා සිටි නිසා තථාගතයන් වහන්සේට තරමක පහසුවක් ඇති විය. උන්වහන්සේ පිරිනිවීමට බලාපොරොත්තු වන කුසිනාරා නුවර බලා ගමන ආරම්භ කළ සේක. රෝග බලය නිසා දශබලධාරීන් වහන්සේ ගේ දේහබලය සීඝ්‍රයෙන් පිරිහෙන්නට විය. එ බැවින් උන්වහන්සේට කුසිනාරා නුවරට වඩනා අතර මඟ පස් විසි තැනක වැඩ සිට විඩා සන්සිඳුවා ගැනීමට සිදු විය. උන්වහන්සේ පා ගමනින් ම තුන් ගව් මග ගෙවා සන්ධ්‍යා කාලයේ කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් වූ සල් උයනට වැඩවදාළ සේක.

ඉක්බිති තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආනන්දය! ක්ලාන්ත වෙමි. සැත්පීම සඳහා යමක ශාලා වෘක්ෂයන් අතර උතුරු දෙසට හිස සිටින පරිදි ඇඳක් පිළියෙල කරව.” යි වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ එසේ කළහ. භාග්‍යවතුන් වහන්සේ දකුණු පසට හැරී එහි සිංහ ශෙ‍යාවෙන් සයනය කළ සේක. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන බව කලින් ප්‍රසිද්ධියට පැමිණ තිබූ බැවින් බොහෝ භික්ෂුහු එහි පැමිණ සිටියහ. දස දහසක් සක්වළවලින් බොහෝ දිව්‍ය බ්‍රහ්මයෝද තථාගතයන් වහන්සේ දක්නට පැමිණියෝය. එදින සල් වනයෙහි සැම ගසකම මල් පිපී තිබිණ. තථාගතයන් වහන්සේගේ ශරීරය මත සල් මල් පතනය වන්නට විය. දිව්‍ය බ්‍රහ්මයෝද මල් හා සුවඳ සුනු හෙලමින් ද දිව්‍ය සංගීත පවත්වමින්ද දිව්‍ය තූර්යයන් වාදනය කරමින්ද මහත් ඌ පූජාවක් පැවැත් වූහ. දස දහසක් සක්වලින් පැමිණි ගණනින් ප්‍රමාණ කළ නොහෙන සක්වළ පුරා පැතිර සිටි දිව්‍ය බ්‍රහ්ම සමූහයා විසින් පවත්වන මහා පූජාව බලා තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා මෙබඳු පූජාවක් පැවැත්වීම තථාගතයන් වහන්සේ ට උත්තම පූජාවක් කිරීම නොවන බවත් දර්මයට අනුව පිළිපැදීමම තථාගතයන් වහන්සේට කරන උත්තම පූජාව බවත් වදාළ සේක.

ඉක්බිති ආනන්ද ස්ථවිරයන් වහන්සේ “භාග්‍යවතුන් වහන්ස! පෙර ඒ ඒ පළාත්වල වස් වැස නිම වූ මන වඩන්නා වූ බොහෝ භික්ෂුහු තථාගත දර්ශනය සඳහා පැමිණෙන්නාහ. එයින් අපි ඒ මනෝභාවනීය භික්ෂූන් දකින්නටද ඇසුරු කරන්නටද ලැබුයෙමු. නුඹ වහන්සේගේ ඇවෑමෙන් මනෝභාවනීය භික්ෂූන් දක්නට නො ලබන්නෙමුය” යි තථාගතයන් වහන්සේට සැලකළහ. එකල්හි තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට දර්ශනීය මනෝ භාවනීය අන් දෙයක් දැක්වීම සඳහා මෙසේ වදාළ සේක.

“චත්තාරිමානි ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි?

ඉධ තථාගතො ජාතොති ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං,

ඉධ තථාගතො අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධොති

ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං,

ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති ආනන්ද!

සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං

ඉද තථාගතො අන්පාදිසෙසාය නිබ්බාන ධාතුයා

පරිනිබ්බුතොති ආනන්ද! සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං

ඉමානි ඛො ආනන්ද! චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං”

තථාගතයන් වහන්සේ උපන් තැනය, සම්‍යක් සම්බුද්ධත්වයට පැමිණි තැනය, දම්සක් පැවැත් වූ තැනය, පිරිනිවන් පා වදාළ තැනය යන මේ ස්ථාන සතර දර්ශනීය සංවේජනීය ස්ථාන වන බව ඒ දේශනාවෙන් දක්වන ලද්දේය. ශ්‍රද්ධාවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඒ ස්ථානයන් දක්නට යන බවත් ඉක්බිති යම් කෙනෙකුන් චෛත්‍යදර්ශනය සඳහා ගොස් පහන් සිතින් කාලක්‍රියා කළාහු නම් ඔවුන් ස්වර්ගයෙහි උපදනා බවත් වදාළසේක.

ඉක්බිති ආනන්ද ස්ථවිරයෝ පිරිනිවීමෙන් පසු තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දෙහය ගැන පිළිපදිනා ආකාරය විචාළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය! තෙපි තථාගත ශරීර පූජාව ගැන ව්‍යවෘත නො වවු. තෙපි අර්හත්වයට පැමිණීම සඳහා වීර්ය කරව්. ආනන්දය! තථාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න වූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝ ද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝ ද, ගෘහපති පණ්ඩිතයෝ ද ඇතහ. ඔවූහු තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව කරන්නාහ” යි වදාළ සේක. තථාගත ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය විචාර කල්හි සක්විති රජුන්ගේ ශරීරය කෙරෙහි පිළිපදිනා ආකාරයෙන් පිළිපැදිය යුතු බව හා එහි ක්‍රමයත්, සිවු මන්සන්දියක් සමීපයෙහි තථාගතයන් වහන්සේ උදෙසා ස්ථූපයක් කළ යුතු බවත්, යම් කෙනෙක් එහි සුවඳ හෝ මල් හෝ සුවඳ සුණු හෝ පුදත් නම් එයට වඳිත් නම් සිත හෝ පහදා ගනිත් නම් ඔවුනට එය දීර්ඝ කාලයක් සැප පිණිස වන බවත් වදාළ සේක. ඉක්බිති මෙසේ වදාළ සේක.

“චත්තාරො මෙ ආනන්ද ථූපරහා, කතමෙ චත්තාරො? තථාගතො අරහං සම්මාඅම්බුද්ධො ථූපරහො. පච්චෙක සම්බුද්ධො ථූපාරහො, තථාගතස්ස සාවකො ථූපාරහො. රාජා චක්කවත්ති ථූපාරහොති.”

“ආනන්දය මේ පුද්ගලයෝ සතර දෙන ස්ථූප තැනීමට සුදුස්සෝය. කවර සතර දෙනෙක් ද යත්? තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ස්ථූප තැනීමට සුදුසු ය. ප්‍රත්‍යක සම්බුද්ධයන් වහන්සේ ස්ථූප තැනීමට සුදුසු ය. බුද්ධශ්‍රාවක තෙමේ ස්ථූප තැනීමට සුදුසු ය. සක්විති රජ ස්ථූප තැනීමට සුදුසු ය.” යනු එහි තේරුමයි. උත්තම පුද්ගලයන් උදෙසා ස්ථූප කළ යුත්තේ ඒවා කෙරෙහි සිත පහදාගෙන ඒවාට වැඳුම් පිදුම් කොට බොහෝ ජනයාට ස්වර්ග සම්පත්තිය ලැබිය හැකි හෙයිනි.

“තථාගතස්ස සාවකො ථූපාරහො" යනුවෙන් විශේෂයක් නො කොට බුද්ධශ්‍රාවකයා ස්ථූප කිරීමට සුදුසු යයි වදාරා ඇතත් එයින් අදහස් කරන්නේ සව් කෙලෙසුන් නසා රහත් වූ බුද්ධශ්‍රාවකයා ය. තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ අවස්ථාවල ස්ථූප තැනීමට නියම කර ඇත්තේ රහතුන් වෙනුවෙන්ම ය. උන්වහන්සේ සැරියුත් මුගලන් දෙනම වෙනුවෙන් ස්ථූප තැනීමට නියෝග කළහ. මහාප්‍රජාපති ගෝතමි මෙහෙණිය වෙනුවෙන් ස්ථූපයක් තැනවීමට නියම කළහ. පෘතග්ජන ශ්‍රාවකයකු වෙනුවෙන් තථාගතයන් වහන්සේ විසින් ස්ථූප තැනීමට නියම කළ තැනක් දක්නට නැත. ගිහියකු වන චක්‍රවර්තී රජ ස්ථූප තැනීමට සුදුසු වන බව අනුදත් තථාගතයන් වහන්සේ සිල්වත් පෘතග්ජන භික්ෂූන් උදෙසා ස්ථූප තැනීමට නො අනුදත්තේ කිනම් කරුණකින්ද යන මේ ප්‍රශ්නය නඟා අටුවාවෙහි මෙසේ එයට පිළිතුරු දී තිබේ. සීලවන්ත පෘතග්ජන භික්ෂූන් උදෙසා ස්ථූප තැනීම තථාගතයන් වහන්සේ අනුමත කළහොත් ලක් පොළොව ස්ථූපවලින් පිරෙන්නේය. එසේ වූ කල්හි ඒවායේ අගය නැතීවන්නේය. සක්විති රජවරු ලෝකයෙහි ඇතිවන්නේ කලාතුරකිනි. එබැවින් චක්‍රවර්තී රජුගේ ස්ථූපය ආශ්චර්ය දෙයක් වන්නේ ය. එයට මහජනයා ගරු කරන්නේ ය. ඒ නිසා තථාගතයන් වහන්සේ සිල්වත් වූ ද පෘතග්ජන භික්ෂූන් උදෙසා ස්ථූප තැනීම නො අනුදත් සේක. මෙසේ කියා අවසානයෙහි පිරිනිවන් පෑ භික්ෂුවට මෙන්ම සිල්වත් පෘතග්ජන භික්ෂුවටද සත්කාර කිරීම සුදුසු බව දක්වා තිබේ.

ස්ථූපාර්හ පුද්ගලයන් පිළිබඳව වූ ඒ දේශනාව ඇසීමෙන් පසු තථාගත පරිනිර්වාණය ගැන බලවත් ශෝකයක් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ඇති විය. එය දැරිය නො හැක්කෙන් උන්වහන්සේ විහාරයට පිවිස අගුළු කණුවට හේත්තු වී හඬන්නට වන්හ. තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් ගෙන්වා ධර්ම කථාවෙන් ශෝකය සංසිඳවා භික්ෂූන් අමතා ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ බොහෝ ගුණ වදාළ සේක. ඉක්බිති ආනන්ද ස්ථ්විරයන් වහන්සේ විසින් මේ කුඩා නගරයෙහි පිරිනිවීම නො කරන ලෙස ඇයැද සිටි කල්හි කුසිනාරාව කුඩා නගරයක් නො වන බව හා සංස්කාරයන්ගේ අනිත්‍ය භාවයද දැක්වීම් වස් මහා සුදර්ශන සූත්‍රය සැතපී සිටිමින්ම දේශනය කළ සේක.

ඉක්බිති තථාගතයන් වහන්සේ එදින රාත්‍රියේ පශ්චිම යාමයේ තථාගත පරිනිර්වාණය සිදුවන බව කුසිනාරා නුවර මල්ල රජුන්ට දන්වන ලෙස ආනන්ද ස්ථවිරයන් වහන්සේට වදාළහ. උන්වහන්සේ එසේ කළහ. මල්ලයෝ මහත් වූ ශෝකයෙන් හඬමින් පවුල් පිටින්ම රාත්‍රියේම අවුත් තථාගතයන් වහන්සේට වැන්දෝය. එනුවර වෙසෙන සුභද්‍ර නම් පරිව්‍රාජකයාටද තථාගත පරිනිර්වාණය සැළවී වහා අවුත් තථාගතයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ලබා කමටහන් වඩා තථාගතයන් වහන්සේ පිනිවීමට කලින්ම සවුකෙලෙසුන් නසා රහත් බවට පැමිණියේය. හෙතෙමේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා විය.

ඉක්බිති තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා වදාරන සේක් “ආනන්දය! මාගේ ඇවෑමෙන් දැන් අපට ශාස්තෘවරයෙකු නැතය යන අදහස තොපට ඇතිවිය හැකිය. ආනන්දය! තොපට ශාස්තෘවරයෙකු නැත්තේ නොවේ. ආනන්දය! මා විසින් යම් ධර්මයක් දෙසන ලදද, යම් විනයක් පනවන ලද ද, ඒ ධර්මය විනය දෙක මාගේ ඇවෑමෙන් තොපගේ ශාස්තෘවරයා ය” යි වදාළ සේක. අනතුරුව තථාගත පරිනිර්වාණයෙන් පසු භික්ෂූන් විසින් ඔවුනොවුන්ට කතාකළ යුතු ආකාරය වදාරා කැමති නම් සංඝයා හට ක්ෂුද්‍රානුක්ෂුද්‍රක ශික්ෂා පදයක් බැහැර කරවන්නට ද අවසර දී භික්ෂූන්ට නිතර කරදර කරන චණ්ඩ ඵරුෂ ඡන්න භික්ෂුව හික්මවනු පිණිස බ්‍රහ්මදණ්ඩය දීමට නියම කර වදාළ සේක. ඒ දඬුවම නිසා ඡන්න භික්ෂුවට රහත් විය හැකිවිය. ඉක්බිති මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දේශනා කරන ලද සකල ධර්ම සමූහය පිඬු කොට “භන්දදානි භික්ඛවෙ! ආමන්තයාමි වො, වයදම්මා සංඛාරා, අප්පමාදෙන සම්පාදෙථ” යන අන්තිම බුද්ධ වචනය වදාළ සේක. “මහණෙනි දැන් තොපට අන්තිම වරට කියමි. සංස්කාරයෝ නැසෙන ස්වභාවය ඇත්තෝය. තෙපි අමතක නොකොට අතපසු නොකර පැවිදි කිස සම්පාදනය කරව්” යි යනු එහි තේරුමයි.

මෙසේ තථාගතයන් වහන්සේ භික්ෂූන්ට අන්තිම අවවාදය කොට ප්‍රථම ධ්‍යානයට සමවන් සේක. ඉන් නැගිට ද්විතීය ධ්‍යානයට සමවන් සේක. මෙසේ නේවසංඥා නාසංඥායතන ධ්‍යානය දක්වා පිළිවෙලින් ධ්‍යානයන්ට සමවැද නිරෝධ සමාපත්තියට සමවන් සේක. එකල්හි ආනන්ද තෙරණුවෝ “ස්වාමිනි!, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවුණු සේකැ” යි අනුරුදු තෙරණුවන්ට කීහ. “නැත ආනන්දය! භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවන් සේකැ” යි අනුරුදු තෙරණුවෝ කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී ප්‍රතිලෝම ක්‍රමයෙන් ප්‍රථම ධ්‍යානය දක්වා ධ්‍යානයන්ට සමවැදී නැවත අනුලෝම ක්‍රමයෙන් චතුර්ථධ්‍යානය දක්වා ධ්‍යානයන්ට සම වැදී චතුර්ථධ්‍යානයෙන් නැඟී පිරිනිවන් පා වදාළ සේක. එකෙණෙහි මහා භූමිකම්පාවක්විය. අහසෙහි විදුලිය නගින්නටත් අකුණු පුපුරන්නටත් විය. එකෙණෙහිම සහම්පති බ්‍රහ්මරාජයා මේ ගාථාව කීය.

සබ්බේව නික්ඛිපිස්සන්ති භූතාලොකෙ සමුස්සයං,

යථා එතදිසො සත්ථා ලොකෙ අප්පටි පුග්ගලො,

තථාගතො බලප්පත්තො සම්බුද්ධො පරිනිබ්බුතො.

සක්දෙව් රජ මේ ගාථාව කීය

අනිච්චා වත සංඛාරා - උප්පාද වයදම්මිනො,

උප්පජ්ජිත්වා නිරිජ්ඣන්ති - තෙසං වූපසමො සුඛො

ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයෝ මේ ගාථාව කීහ.

නාහු අස්සාස පස්සාසො ඨිත චිත්තස්ස තාදිනො,

අනෙජො සන්ති මාරබ්භ යං කාලමකරී මුනී.

අසල්ලීනෙන චිත්තෙන වෙදනං අජ්ඣවාසයි.

පජ්ජොතස්සෙව නිබ්බානං විමොක්ඛො චෙතසො අහු.

ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෝ මේ ගය කීහ.

තදාසි යං හිංසනකං තදාසි ලෝමහංසනං,

සබ්බාකාර වරූපෙතෙ සම්බුද්ධෙ පරිනිබ්බුතෙ.

තථාගත පරිනිර්වාණය සැලවූ වහාම නො රහත් බොහෝ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවි සේකැ යි හඬන්නට වැළපෙන්නට වූහ. වීතරාගිහු සංස්කාරයන්ගේ අනිත්‍යතාව සලකමින් ඉවසූහ. මහරහත් අනුරුදු හිමියෝ ලෝකස්වභාවය සිහිකර දී හඬන වැළපෙන භික්ෂූන් සැනසූහ. අනුරුදු තෙරුන් වහන්සේ දැහැමි කතාවෙන් රාත්‍රියේ ඉතිරි කොටස ගත කළහ.

ආදාහන මහෝත්සවය

අරුණෝදයෙන් පසු අනඳ හිමියෝ කුසිනාරා නුවරට පිවිස එහි සන්ථාගාරයෙහි රැස්ව හුන් මල්ල රජුන්ට තථාගත පරිනිර්වාණය දැන්වූහ. එපවත් අසා මල්ල රජුහුද ඔවුන්ගේ භාර්යාවෝද දූ දරුවෝද “ඉතා ඉක්මනින් තථාගතයන් වහන්සේ පිරිනිවි සේකැ” යි අනේකාරයෙන් හැඬූහ.

ඉක්බිති මල්ල රජහු බොහෝ වූ සුවඳ හා මල් ද අනේක තූර්යභාණ්ඩයන් හා බොහෝ වස්ත්‍රයන් ද ගෙන්වා ගෙන උපවත්තන නම් සල් උයනට ගොස් නැටුමෙන් හා ගැයුමෙන් ද ගීතයෙන් ද සුවඳින් හා මලින්ද තථාගත ශ්‍රී දේහයට පුදමින් සත්කාර කරමින් ගරු බුහුමන් කරමින් වියන් බඳිමින් රැස්වීම් හල් පිළියෙල කරමින් ඒ දිනය ඉක්ම වූහ. දෙවන තුන්වන සතරවන පස්වන සවන දින ද එසේම නෘත්‍ය ගීතාදියෙන් ශ්‍රී දේහය පුදමින් ඉක්මවූහ. සත්වන දිනයේදී ඔවූහු නෘත්‍ය ගීත වාදිත මාලාගන්ධයෙන් පූජා සත්කාර කරමින් ගරු බුහුමන් කරමින් ශ්‍රී දේහය නගරයට බැහැරින් දකුණු දිගට ගෙන ගොස් ආදාහනය කරන්නට නියම කරගත්හ. ඉක්බිති ජවසම්පන්න මල්ලයන් අට දෙනෙක් නා පිරිසිදු වී අළුත් පිළි හැඳ තථාගත ශ්‍රී දේහය ඔසවන්නට තැත් කළහ. ඔවුනට තථාගත දේහය එසවිය නොහැකි විය. එකල්හි මල්ලයෝ තථාගත දේහය නො එසවිය හැකි වීමේ හේතුව අනුරුදු හිමියන්ගෙන් විචාළෝය. “වාසිට්ඨයෙනි; ඔබෙ අදහස අනෙකෙක; දෙවියන්ගෙ අදහස අනෙකෙකැ” යි උන්වහන්සේ කීහ. දෙවියන්ගේ අදහස කුමක්දැයි විචාළ කල්හි “වාසිට්ඨයෙනි, තථාගත දේහය පූජා සත්කාර කෙරෙමින් උතුරු දිගට ගෙන ගොස් උත්තද්වාරයෙන් නගරයට ඇතුළු කොට නගරය මැදින් ගෙන ගොස් නැගෙනහිර දොරටුවෙන් නික්ම නගරයෙන් නැගෙනහිරට ගෙන ගොස් මකුටබන්ධන නම් වූ මල්ලයන්ගේ චෛත්‍යස්ථානයෙහි තථාගත දේහය ආදාහනය කිරීම දෙවියන්ගේ අදහස” යි තෙරණුවෝ කීහ.

මල්ලයෝ දෙවියන්ගේ අදහසට අනුව ආදාහනය කිරීමට සූදානම් වූහ. එසමයෙහි කුසිනාර නුවර දණ පමණට මදාරා මල් අතුරන ලද්දේ විය. දෙවියන්ගේ අදහස පරිදි තථාගත දේහය නෘත්‍ය ගීතාදියන් පූජා පවත්වමින් උත්තරද්වාරයෙන් නගරයට ඇතුළු කොට නගරය මැදින් ගෙන ගොස් ප්‍රාචීනද්වාරයෙන් නික්ම මල්ලයන්ගේ මකුටබන්ධන නම් ශාලාවෙහි තැබූහ.

ඉක්බිති මල්ලයෝ ආනන්ද තෙරුන් වහන්සේගේ උපදෙස් අනුව තථාගතයන් වහන්සේ විසින් කලින් වදාළ පරිදි තථාගත ශරීරය නව වස්ත්‍රයෙන් හා පුළුනින් පන්සිය වර බැගින් වෙලා රන්මුවා තෙල් දෙනක බහා, රන්දෙනකින් ම වසා සුවඳ දරින් කළ චිතකයෙහි තැන්පත් කළහ. ඉක්බිති ප්‍රධාන මල්ලයෝ සතර දෙනෙකු ඉස් සෝදා නා පිරිසිදු වී නව වස්ත්‍ර හැඳ තථාගතයන් වහන්සේගේ චිතකය ගිනි දැල්වීමට තැත් කළහ. ඔවුනට එය නො කළ හැකි විය. ඔවුනට නො හැකි වන කල්හි අට දෙනෙක් ද සොළොස් දෙනෙක්ද දෙතිස්දෙනෙක්ද එකතුව ගිනිහුළු ගෙන තල්පත්වලින් පවන් සලමින් ද භස්ත්‍රාවලින් පිඹිමින්ද නොයෙක් සැටියෙන් ගිනිදැල්වීමට උත්සාහ කළහ. එහෙත් චිතකය ගිනි නො ගත්තේ ය. එකල්හි මල්ලයෝ අනුරුදු මහ තෙරුන් වෙත එළඹ “චිතකය ගිනි නො ගැනීමේ කරුණ කිමෙක්දැ” යි විචාළෝය. තෙරුන් වහන්සේ “වාසිට්ඨයෙනි! දෙවියන්ගෙ අදහස අනෙකෙකැ” යි කීහ. දෙවියන්ගේ අදහස කවරේදැයි විචාළ කල්හි “මහකසුප් තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ හා පාවා නුවර සිට තථාගත දේහය වඳිනු පිණිස මඟ එන්නාහ. උන්වහන්සේ පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පා වඳින තුරු සෑයට ගිනිගන්නට නොදීම දෙවියන්ගේ අදහසය” යි අනරුදු තෙරණුවෝ කීහ. “දෙවියන්ගේ අදහස එසේම වේවා” යි මල්ලයෝ කීහ. එපුවත සැලවූ කල්හි ඇතැම්හු “මෙතරම් ආනුභාව සම්පන්න භික්ෂුවක් ඇති කල්හි තථාගත පරිනිර්වාණයෙන් ඇති පාඩුව කිමදැ” යි කියමින් සුවඳ මල් ආදිය ගෙන මහකසුප් තෙරුන් වහන්සේ දක්නට පෙරමඟට ගියහ. ඇතැම්හු මඟ සැරසූහ. මහකසුප් තෙරුන් වහන්සේ පැමිණ සිවුරු ඒකාංශ කොට පොරවා ඇදිලි බැඳ තෙවිටක් චිතකය ප්‍රදක්ෂිනා කොට තථාගතයන් වහන්සේගේ පා වැන්දාහ. උන්වහන්සේ හා පැමිණි පන්සියයක් භික්ෂුහු ද එසේම තථාගතයන් වහන්සේගේ පා වැන්දෝය.

ඉක්බිති මහකසුප් තෙරුන් වහන්සේ චිතකයෙහි තථාගතයන් වහන්සේගේ පා ඇති පස සළකා ගෙන, එහි සිට අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැදී ඉන් නැගිට “පන්සියයක් පුළුන් පොටවල් හා වස්ත්‍රද රන් දෙන හා දර සෑයද දෙබෑ වී තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මය මාගේ හිස මත පිහිටාවා” යි අධිෂ්ඨාන කළ සේක. එකෙණෙහි පුළුන් පොට හා වස්ත්‍රද රන් දෙන හා චිතකය දෙබෑ වී වළාකුලකින් පුන්සඳ නිකමෙන්නාක් මෙන් තථාගත ශ්‍රී පාද යුග්මය චිතකයෙන් නික්මිණ. තෙරුන් වහන්සේ ස්වර්ණ වර්ණ වූ තථාගත පාද යුග්මය දෝතින් අල්වා තමන් වහන්සේගේ හිස මත තබා ගත්හ. ඒ ආශ්චර්යය දැක මහ ජනයා මහා නාදයක් පවත්වා තථාගත පාදයට නමස්කාර කළහ. ඉක්බිති පාද යුග්මය පෙරතිබූ පරිදි රන්දෙනෙහි පිහිටියේය. චිතකය කිසි වෙනසක් නොවී තිබූ පරිදිම විය. තථාගත පාද යුග්මය චිතකයට ඇතුළු වත්ම පිරිනිවන් පෑ අවස්ථාවෙහි මෙන්ම හැඬූහ. ඉක්බිති දේවානුභාවයෙන් චිතකය සැමතැනින්ම එකවර ගිනි ගත්තේය. චිතකය ගිනිගත් කල්හි තථාගත දෙහයේ සිවි සම් මස් නහර ආදි සියල්ල අළු හෝ අඟුරු බවට නො පැමිණ කපුරු මෙන් සම්පූර්ණයෙන් දැවී ගියේය. මුතු රැසක් මෙන් ධාතූන් වහන්සේ ශේෂ වූහ. තථාගත ශරීරය වෙලා තිබූ සළුවලින් සියල්ලට යටින් හා උඩින් තිබූ සළු දෙක ඉතිරි වී අන් සියල්ල පුළුන් පටද සමඟ දැවී ගියේය. ඉක්බිති චිතකයේ ගිනි නිවනු පිණිස අහසින් ජල ධාරා ගැලිණ. සෑය අවට සල් රුක්වලින් ද ජල ධාරා විහිදිණ. පොළොවෙන්ද ජල ධාරා විහිදිණ. මල්ල රජුද රන් රිදී කළවලින් සුවඳ පැන් ගෙනැවිත් ඉස්සෝය. සෑය නිවිණ.

සර්වඥධාතූන් වහන්සේ

ඉක්බිති මල්ල රජු ඔවුන්ගේ සන්ථාගාරය සුවඳ කල්ක ගල්වා සුදු අබ සුන්සාල් සමන් කැකුළු හීතණ විළඳ යන මේවා බිම විසුරුවා රන්තරු රිදී තරු ආදියන් විසිතුරු උඩුවියන් බඳවා තැන තැන මල් මාල එල්ලවා දෙව් විමනක් සේ සරසවා සන්ථාගාරයෙහි පටන් මකුටබන්ධන නම් වූ ඔටුණු පළඳනා ශාලාව දක්වා ඇති මාර්ගයද දෙපස කලාලයෙන් ආවරණය කරවා උඩුවියන් බඳවා රන්තරු රිදී තරු රන්මල් රිදීමල් වලින් සරසවා තැනතැන මල් දම් රුවන් දම් එල්වා පඤ්චවර්ණ ධ්වජයන් නංවා තැනතැන කෙසෙල් ගස් හා පුන්කළස් තබවා පහන් දල්වා සර්වාලංකාරයෙන් සැරසූ ඇතකු පිට ධාතු සහිත දෙන තබා නෘත්‍ය ගීතාදියෙන් පූජා පවත්වමින් මහ පෙරහරින් සන්ථාගාරයට ධාතු සහිත දෙන වැඩම වූහ. ඉක්බිති අනේකාකාරයෙන් සැරසූ සාරමය පර්යංකයෙහි රන් දෙන තබා සේසත් එසවූහ. ඉකුත් සතියෙහි මල්ල රජුන්ට දහස් ගණනින් දසදහස් ගණනින් එහි පැමිණි භික්ෂූන් වහන්සේට ආගන්තුක සත්කාර කරන්නට සිදුවූයෙන් රිසි සේ ධාතු පූජා කරන්නට අවකාශ නො ලැබිණ. එබැවින් ඔවූහු රන් දෙනට කිසි සතුරෙකුට ළං විය නොහැකි වන පරිදි චතුරංගනී සේනාව යොදවා ආරක්ෂා සංවිධානය කොට නෘත්‍ය ගීත වාදිතාදියෙන් ධාතු පූජෝත්සවය කළහ.

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම ඇසූ මගධ රට අජාසත් රජු ද, විශාලා මහනුවර ලිච්ඡවී රජහු ද, කිඹුල්වත්පුරයෙහි ශාක්‍ය රජහු ද අල්ලකප්ප නුවර බුලි නම් රජහු ද, රාමග්‍රාමයේ කෝලිය රජහු ද, වේඨදීපක නම් ගමෙහි බමුණෝ ද, පාවානුවර මල්ල රජහු ද යන මොවුන් අපිත් තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ලැබීමට සුදුස්සම්හ. අපටද චෛත්‍ය හා ධාතු පූජා කිරීමට ධාතූන් වහන්සේ දුන මැනවැ යි කුසිනාරා නුවර මල්ල රජුන් වෙත දූතයන් යැවූහ. සාමයෙන් නුදුනහොත් ගත හැකි අයුරකින් ධාතූන් වහන්සේ ගනිමු යයි ඒ රජහු ද සේනා සමග කුසිනාරා නුවර සමීපයට පැමිණ කඳවුරු බැඳ ගත්හ. කුසින්නාරා නුවර මල්ල රජහු සිතන්නා හු අනික් රටවලට යමක් ඇතිවුවහොත් ඒවා ඔවුන්ම ගන්නවා මිස අපට නො දෙන්නාහ. ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේ අපගේ ආරාධනාවක් නැතුවම අප රටට වැඩි සේක. උන්වහන්සේ විසින්ම අපට දන්වා එවා අප උයනෙහි පිරිනිවන් පා වදාළහ. උන්වහන්සේ එසේ කරන ලද්දේ ධාතූන් වහන්සේ ලැබීමට අපටම සුදුසුකම් ඇති නිසා යයි සලකා පැමිණි රජවරුන්ට ධාතූන් වහන්සේ බෙදා දිය නොහැකි බව දන්වා යැවූහ. සෙසු රජහු ද නැවත නැවත ද තම තමන්ගේ සුදුසුකම් කියා සිටියහ.

ධාතූන් වහන්සේ නිසා රජුන් අතර මග අවි ගැටුමක් සිදුවන්නට යන බව ද්‍රෝණ නම් බ්‍රාහ්බණ ආචාර්යවරයාට අසන්නට ලැබී මහ කාරුණික වූ ක්ෂාන්තිවාදී වූ තථාගතයන් වහන්සේ පිරිනිවුණ තැන ධාතුන් උදෙසා යුද්ධ කරගැනීම සුදුසු කරුණක් නොවේ යැයි සලකා ඔවුන් අතරට ගොස් උස් තැනක සිට දේශනයක් කරන්නට පටන් ගත්හ. ඔහුගේ කථාව බණවර දෙකක් පමණ විය. ඝෝෂාව මහත් බැවින් එක් බණවරයක පමණ වූ ඔහුගේ කථාව කිසිවකුට නො ඇසිණ. දෙවන බණවර අවසානයේ ආචාර්යවරයාගේ හඬ වැනි හඬක් ඇසේ යැයි සියල්ලෝම නිශ්ශබ්ද වූහ. එකල දඹදිව උසස් කුලවල බොහෝ දෙනා ද්‍රෝණ බ්‍රාහ්මණගේ ශිෂ්‍යයෝ වූහ. එහිද ඔහුගේ ශිෂ්‍යයෝ බොහෝ වුහ. එබැවින් ඔවුහු අරගලය නවත්වා ද්‍රෝණ බ්‍රාහ්මණ ගේ හඬට කන් යොමු කළහ. බ්‍රාහ්මණ තෙමේ අප බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයහ. ක්ෂාන්තිවාදියහ. එබඳු උත්තමයෙකුගේ ධාතු සඳහා යුධ කර ගැනීම සුදුසු නැත. යුද කිරීම ඒ මහෝත්තමයාණන්ට කරන අගෞරවයෙක. තථාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න ජනයා බොහෝය. ඔවුන් හැම උන්වහන්සේ ගේ ධාතුන් පූජා සත්කාර කිරීමට සුදුස්සෝ ය. යනාදීන් කරුණු කියා සැම දෙනාම සමගියන් ධාතූන් වහන්සේ බෙදා ගැනීමට යෝජනා කළේය. සියල්ලෝම එයට කැමති වී ධාතු බෙදීම ද්‍රෝණ බ්‍රාහ්මණ පඬිතුමාට බාර කළහ.

දීර්ඝායුෂ්ක බුදුවරයන් වහන්සේලා ගේ ශාරීරික ධාතුහු නො විසිරී රන් කඳක් සේ ඒකඝනව සිටින්නාහ. අප බුදුරජාණන් වහන්සේ “මම නො බෝ කලකින් පිරිනිවන්නෙමි. මාගේ සස්න තවම සැමතැන නොපතළේ ය. ඒ නිසා මාගේ ශාරීරික ධාතුන් ගෙන පිහිටුවා තම තමන්ගේ පෙදෙස්වල චෛත්‍යන් කරවා වැඳ පුදා බොහෝ ජනයා ස්වර්ගපරායන වන්නාහ” යි “ධාතුහු විසිර සිටිත්වා” යි අධිෂ්ඨාන කළ සේක. එයින් උන්වහන්සේගේ ධාතු ඒකඝනව නො සිට කුඩා කැබලි වී සිටියහ. ධාතුන් වහන්සේගේ ප්‍රවෘත්ති පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දැක්වෙන පරිදි මෙසේ ය. දළදා සතරය අකු දා දෙකය, ලලාට ධාතුවය, යන මේ ධාතුහු නො විසිරී සිටියහ. ඉතිරි ධාතුහු විසිර සිටියහ. ඒ ධාතුන් වහන්සේලාගෙන් ඉතා කුඩා ධාතුහු අබ ඇට පමණ වූහ. මධ්‍යම ධාතුහු මැදින් කැඩුණු සහල් ඇට පමණ වූහ. මහා ධාතුහු මුං පියලි පමණ වූහ. පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි ධාතූන් වහන්සේලාගේ පැහැය පැහැදිලි ලෙස දක්වා නැත. “සුමන මකුල සදිසා ච ධොතමුත්තසදිසා ච සුවණ්ණසදිසා ච ධාතුයො අවසිස්සිංසු” යි විභාගයක් නැතිව ධාතුන්ගේ පැහැය එහිදක්වා තිබේ.

මහන්තා සුවණ්ණවණ්ණා ච - මුත්තවණ්ණා ච මජ්ඣිමා

ඛුද්දකා මකුල වණ්ණා ච - සොළස දොණ මත්තිකා

මේ බුද්ධවංසපාළියේ අග ධාතූන් වහන්සේලාගේ තතු දැක්වීම සඳහා යොදා ඇති ගාථා පෙළක එක් ගාථාවෙකි. එහි දැක්වෙන පරිදි මහා ධාතූන් වහන්සේ රන්පැහැ වන්නාහ. මධ්‍යම ධාතූන් වහන්සේ මුතු පැහැ වන්නාහ. කුඩා ධාතූන් වහන්සේ සමන් කැකුළු පැහැ වන්නාහ. ප්‍රමාණයෙන් සියළුම ධාතූන් වහන්සේ ප්‍රකෘති නැළියෙන් සොළොස් නළියක් වූහ යි පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි කියා තිබේ.

මහන්තා පඤ්ච නාළියො - නාළියො පඤ්ච මජ්ඣිමා

ඛුද්දකා ඡ නාළියො ච - එතා සබ්බාපි ධාතුයො

යන බුද්ධ වංස ගාථාවෙන් මහා ධාතූන් වහන්සේ නැළි පසක් බවත් කුඩා ධාතූන් වහන්සේ නැළි සයක් බවත් දක්වා ඇත්තේය.

ධාතූන් වහන්සේ බෙදා ගැනීම සඳහා මල්ල රජුන්ගේ සන්ථාගාරයට සැමදෙනා රැස්වූ කල්හි ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේ රන් දෙන විවෘත කරවීය. රජවරු සර්වඥ දේහය නො දැක, රන්වන් ධාතූන් වහන්සේ පමණක් දැක මහත් ශෝකයට පැමිණ හැඬූහ. එකෙණෙහි රජුන්ගේ ප්‍රමාදය දැක බමුණු තෙමේ දකුණු දළදා වහන්සේ තමාගේ ජටාවෙහි සඟවා තබා ගත්තේය. ඉක්බිති බ්‍රාහ්මණ තෙමේ රන් නැළියෙන් මැන එක් එක් නගරයට දෙනැළිය බැගින් ධාතූන් වහන්සේ බෙදා දින.

බ්‍රාහ්මණයා ධාතුන් බෙදද්දී සක්දෙව් රජ දකුණු දළදා වහන්සේ නො දැක කොහිදෝයි විමසනුයේ බ්‍රාහ්මණයා විසින් සඟවා තිබෙන බව දැක, මේ බමුණා ධාතූන් වහන්සේට සුදුසු ලෙස සත්කාර කරන්නට අපොහොසත් ය, ඒ නිසා ඔහුගෙන් එය ගත යුතු යැයි සලකා ධාතූන් වහන්සේ බ්‍රාහ්මණයාගේ හිසෙන් ඔහුට නොදැනෙන පරිදිම ගෙන රන් කරඬුවෙක තබා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයෙහි තැබීය. බ්‍රාහ්මණ තෙමේ තමා සඟවා ගත් ධාතූන් වහන්සේ නොදැක, සොරාගත් නිසා එය අනිකකුට කියන්නට ද අපොහොසත්ව කලින් තමාට ද ධාතූන් වහන්සේ උවමනා බව නොකී නිසා රජුන්ගෙන් ධාතු ඉල්ලන්නටත් අපොහොසත්ව “ධාතූන් වහන්සේ මැනීම කළ මේ නැළියත් පිදිය යුතු වස්තුවකැ” යි සළකා, රජුන්ට කියා නැළිය ලබා ගත්හ. හෙතෙමේ ධාතුන් බෙදූ නැළිය තබා චෛත්‍යයක් කරවූයේ ය. සෙස්සෝ ද තමතමන්ට ලබා ගත් ධාතුන් පිහිටුවා චෛත්‍යයන් කරවා පූජා සත්කාර කළෝය. මෙසේ ධාතූන් වහන්සේ බෙදූ පසු පිප්ඵලී වන නම් නුවර මෝරිය නම් රජහු ද කුසිනාරාවෙහි තථාගතයන් වහන්සේ පිරිනිවුණු වග අසා තමන්ට ධාතුන් ලබා ගනු සඳහා කුසිනාරාවට දූතයන් යැවූහ. ඔවූහු ධාතුන් නොලැබ දරසෑයේ අඟුරු ගෙන ගොස් ඒවා පිහිටුවා චෛත්‍යයක් කරවූහ. මෙසේ ධාතු චෛත්‍ය අටය. ද්‍රෝණ බ්‍රාහ්මණයාගේ තුම්බචෛත්‍යය, මෝරිය රජුන්ගේ අංගාර චෛත්‍ය යි පළමු වරට දඹදිව චෛත්‍ය දසයක් ඇතිවිය.

ධාතූන් වහන්සේ වැඩ සිටි රන් දෙණ හා ආදාහනයේදී එහි ඉතිරි වූ සළු දෙක, ධාතු බෙදු නැළියට හා අඟුරුවලට වඩා උසස් පූජනීය වස්තුහු ය. ඒවාට කුමක් වී ද කුමක් කරන ලද ද යන බව පොත පතෙහි සඳහන් වී නැත්තේ ය.

අසම්භින්න සත් ධාතූන් වහන්සේලා ගෙන් දකුණු දළදා වහන්සේ සක්දෙව් රජ දෙව්ලොවට ගෙනගිය බව පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. ඉතිරි ධාතූන් වහන්සේ ලා සනම ගැන එහි කිසිවක් සඳහන් නොවේ. පරිනිර්වාණ සූත්‍රයේ අග, පසුකාලයේ දී ලංකාවේ තෙරුන් වහන්සේ විසින් යොදන ලදැයි කියන ගාථා පසක් ඇත්තේය. එහි දෙවන ගාථාව මෙසේ ය.

ඒකා හි දාඨා තිදිවෙහි පූජිතා

එකා පන ගන්ධාරපුරෙ මහීයති

කාලිංග රඤ්ඤො විජිතෙ පුනෙකං

එකං පුන නාගරාජා මහෙති.

මේ ගාථාවෙන් දැක්වෙන්නේ එක් දළදාවක් දෙව්ලොවත්, එක් දළදාවක් ගන්ධාර රටෙහිත්, එක් දළදාවක් කළිඟු රටෙහිත්, එක් දළදාවක් නාගරජෙකු වෙතත් වැඩ සිටිනා බව ය. මේ කරුණ මෙසේ ම බුද්ධවංශ පාලියේ අග ගාථාවක ද දක්වා තිබේ. ඒ මෙසේ ය.

එකා දාඨා තිදසපුරෙ - එකානාග පුරෙ අහු

එකා ගන්ධාරවිසයෙ - එකා කාලිංගරාජිනො

මිහිඳු නම් මහ තෙර කෙනෙකුන් වෙත වැඩ සිටි දළදා වහන්සේ නමක් පිහිටුවා සෝමාවතී චෛත්‍යය කරවූ බව ද කියා තිබේ. කාලිංග දේශයේ වැඩ සිටි දළදා වහන්සේ පසු කළෙක ලක්දිවට වැඩමවන ලදහ. දැනට මහනුවර දළදා මන්දිරයේ වැඩ සිටින්නේ ඒ ධාතූන් වහන්සේ ය. ඉතිරි මහා ධාතූන් වහන්සේ තෙනම ගැන පරිනිර්වාණ සූත්‍රයේ ගාථාවල සඳහන් නොවේ. බුද්ධවංස පාළියේ ඒ ධාතූන් වහන්සේ ගැන දැක්වෙන්නේ මෙසේ ය.

උණ්හිසං සීහළෙ දීපෙ - බ්‍රහ්මලොකෙ ච වාමකං

සීහළෙ දක්ඛිනක්ඛඤ්ච - සබ්බා පෙතා පතිට්ඨිතා

ලලාට ධාතූන් වහන්සේ සිංහල්ද්වීපයේ ද වම් අකුදා වහන්සේ බ්‍රහ්ම ලෝකයෙහි ද දකුණු අකුදා වහන්සේ සිංහල්ද්වීපයේ ද පිහිටි සේක් ය යනු එහි තේරුමයි.

දකුණු අකු ධාතූන් වහන්සේ කලින් සක්දෙව් රජ වෙත තිබී මිහිඳු මහ රහතන් වහන්සේ ගේ නියෝගයෙන් සුමණ සාමණේරයන් විසින් ලක්දිවට වැඩම වන ලද බවත් අනුරාධපුරයේ ථූපාරාම චෛත්‍යයෙහි ඒ ධාතූන් වහන්සේ පිහිටවන ලද බවත් විනය අටුවා ආදියෙහි කියා තිබේ.

ලලාට ධාතූන් වහන්සේ ගේ පුවත ධාතුවංසයෙහි මෙසේ දැක්වේ. ධාතු බෙදීමේදී ලලාට ධාතූන් වහන්සේ මල්ල රජුන්ට හිමි වූ කොටසට අයත් වූහ. මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ “බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී ලලාට ධාතූන් වහන්සේ ලක්දිව පිහිටවන ලෙස වදාරා ඇත්තේය” යි කියා මල්ල රජුගෙන් එය ලබා ගෙන තමන් වහන්සේගේ සද්ධිවිහාරික මහා නන්ද නම් තෙරුන් වහන්සේට “අනාගතයෙහි ලක්දිව මහවැලි ගඟතෙර සේරු නම් විල් තෙර වරාහසොණ්ඩ නම් තැන මේ ධාතූන් වහන්සේ පිහිටවා කාවන්තිස්ස නම් රජෙක් චෛත්‍යයක් කරවන්නේය” යි කියා ආරක්ෂා කරන ලෙස භාර කළහ. පරම්පරාගතව මහතෙරුන් වහන්සේලා විසින් ආරක්ෂා කරගෙන ආ ඒ ධාතූන් වහන්සේ පසු කාලයකදී කාවන්තිස්ස රජතුමා සත් රුවනින් බුදුරුවක් කරවා එහි නලලත පිහිටුවා, හිසැ තථාගතයන් වහන්සේගේ කේශධාතුන් වහන්සේද පිහිටුවා ඒ බුදුපිළිමය තබා සේරුවිල මංගල චෛත්‍ය කරවීය. ලලාට ධාතුව පිහිටුවා කාවන්තිස්ස රජතුමා කරවූ චෛත්‍ය තිස්සමහාරාම චෛත්‍ය යැයිද කියති. ලලාට ධාතූන් වහන්සේ පිහිටි තැන ගැන මත්භේද ඇත්තේ ඒ චෛත්‍ය දෙකම ඒ රජතුමා විසින්ම කරවන ලද චෛත්‍යයන් වන බැවිනි.

පළමු වරට දඹදිව ශාරීරික ධාතු චෛත්‍ය අටක් ඇතු වූ පසු මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අනාගතයෙහි ඒ ධාතූන් වහන්සේලාට තීර්ථකයන්ගෙන් අනතුරු පැමිණිය හැකි බව දැක ඒ බව අජාසත් රජතුමාට දන්වා රාමග්‍රාමයේ ධාතූන් වහන්සේ හැර ඉතිරි සත්තැන පිහිට වූ ධාතූන් වහන්සේ ගෙන ධර්මාශෝක රජතුමා විසින් දඹදිව යොදුනෙන් යොදුන චෛත්‍යයෝ කරවන ලදහ. ඒ ධාතූන් වහන්සේලා ගෙන් පාත්‍රයක් පුරා ලක්දිවට ද ලැබිණ. දෙවන පෑතිස් රජතුමා ඒ ධාතූන් වහන්සේලා පිහිටුවා ලක්දිව ද යොදුනෙන් යොදුන චෛත්‍ය කරවීය.

කෝලිය රජු විසින් රාමග්‍රාමයේ ගංතෙර කරවන ලද දාගැබ පසු කාලයේ ගංවතුරෙන් බිඳී ආ කරඬුව මුහුදට ගොස් නා රජුන්ට හමුවී මඤ්ජේරික නම් නාග භවනයට වැඩම කරවනු ලැබ, එහි තිබී පසු කළෙක ලක්දිවට වැඩමවා රුවන්වැලි මහා සෑයෙහි වඩා හිඳවනු ලැබූහ. අද ලෝකයේ සර්වඥ ධාතූන් වහන්සේ ලා වැඩි ගණනක් වැඩ සිටින්නා වූ ස්ථානය රුවන්වැලි මහා සෑය ය.

ප්‍රථම බෝධියේ දී තථාගතයන් වහන්සේ තපස්සු භල්ලුක නම් වෙළඳ දෙබෑයන්ට තමන් වහන්සේගේ හිස පිරිමැද අතට ආ කේශධාතුන් දුන් සේක. ධාතූන් වහන්සේ රැන්ගුන් නුවර ශ්වේදගොන් චෛත්‍යයෙහි ඇත යයි බුරුම ජාතිකයෝ කියති. සේරුවිල මංගල චෛත්‍යයෙහි ඇත යයි ධාතු වංශයෙහි කියා තිබේ. බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් නව වන මස දුරුතු පසළොස්වක පොහෝ දිනයේ මහියංගණයට වැඩ වදාළ අවස්ථාවෙහි සමන්තකූට පර්වත වාසී සුමන සම්න් දෙව් රදුන්ට ද කේශධාතුන් දුන්සේක. ඒ ධාතූන් වහන්සේ පිහිටුවා මහියංගණ චෛත්‍ය කරවන ලද්දේය. නැවත බුදුරදුන් පිරිනිවී ආදාහනය කරන කල්හි සැරියුත මහ තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයකු වන සරභූ නම් රහත් තෙර කෙනෙකුන් විසින් තථාගතයන් වහන්සේගේ ග්‍රීවා ධාතුව ඇවිලෙන දර සෑයෙන් සෘධිබලයෙන් ගෙන මියුගුණ දාගැබෙහි පිහිටවූ බවද කියා තිබේ. මෙතෙකින් කියන ලද සර්වඥ ධාතූන් වහන්සේලා හැර තවත් බොහෝ ධාතූන් වහන්සේලා ලෝකයෙහි ඇති බව කිව යුතුය.

චත්තාළීස සමාදන්තා - කෙසා ලොමා ච සබ්බසො

දෙවා හරිංසු එකෙකං - චක්කාවාලපරම්පරා

මෙය මහා පරිනිර්වාණ සූත්‍රයේ අන්තිම ගාථාව ය. බුද්ධවංස පාළියේ අග ද මේ ගාථාව දක්නා ලැබේ. තථාගතයන් වහන්සේගේ දත් සතළිස හා කේශ ලෝමයන්ද දෙවියන් විසින් චක්‍රවාළ පරම්පරාවෙහි ගෙනයන ලද බව ඒ ගාථාවෙන් දැක්වේ.

බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව මිහින්තලා පර්වතයේ සේල චෛත්‍යයෙහි ද නියදා වහන්සේ නමක් දීඝවාපී චෛත්‍යයේ ද පිහිටා ඇති බව ලංකාවේ පොත්වල දැක්වේ.

පාරිභෝගික වස්තු

තථාගතයන් වහන්සේගේ පාත්‍ර චීවරාදි වස්තූන් ඇති ස්ථාන බුද්ධවංස පාළියේ අවසානයෙහි මෙසේ දැක්වේ.

වජිරායං භගවතෝ - පත්තො දණ්ඩඤ්ච චීවරං,

නිවාසනං කුලඝරෙ - පච්චත්ථරණං කපිලව්හයෙ.

පාටලීපුත්තපුරම්හි - කාරකං කායබන්ධනං,

චම්පායමුදකසාටිකා - උණ්ණලොමඤ්ච කොසලෙ.

-

කාසාවං බ්‍රහ්ම ලොකෙච - වෙඨනං තිදසෙ පුරෙ,

නිසීදනං අවන්තීසු - රට්ඨෙ අත්ථරනං තදා.

-

අරණීච මිථිලායං - විදහෙ පරිස්සාවනං,

වාසි සූචිඝරඤ්චාපි - ඉන්දපත්තෙ පුරෙ තදා.

-

පරික්ඛාරා අවසෙසා - ජනපදෙ අපරන්තකෙ,

පරිභුත්තානි මුනිනා - අකංසු මනුජා තදා.

මේ ගාථාවල සමහර තැන් තේරුම් ගැනීම දුෂකරය. සාමාන්‍යයෙන් ඒවායේ තේරුම මෙසේ ය.

භාග්‍යවතුන් වහන්සේ ගේ පාත්‍රය, සැරයටිය, සිවුරු යන මේවා වජිරාවෙහි ය. අඳනය කුලඝරයෙහි ය. පච්චත්ථරනය කපිලවස්තුවෙහි ය.

ඩබරාව, පටිය යන මේවා පාටළීපුත්‍ර නගරයෙහි ය. උදකසාටිකාව චම්පා නගරයෙහි ය. ඌර්ණරෝමය කොසොල් රටෙහි ය.

සිවුර බ්‍රහ්ම ලෝකයෙහි ය. හිස්වෙළුම දෙව්ලොව් ය. නිසීදනය හා ඇතිරිය අවන්ති රටෙහි ය.

ගිනිගානා දණ්ඩ මිථිලාවෙහි ය. පෙරහන විදෙහ රටෙහි ය. කරකැත්ත හා ඉඳිකටු ගුලාව ඉන්දපත්ත නගරයෙහි ය. තථාගතයන් වහන්සේ පරිභෝග කළ අවශේෂ පරිෂ්කාරයෝ අපරන්ත ජනපදයෙහි ය.

රටක් හෝ නගරයක් හෝ ගමක් හෝ කියැවෙන වජිරා කියා වචනයක් පාලි පොත්වල අන් තැනක දක්නට නැත. තථාගතයන් වහන්සේගේ පාත්‍රයට ධාතූන් වහන්සේ වඩා ලක්දිවට ගෙන ඊමට දහම්සෝ රජතුමා විසින් දුන් බව මහාවංසයෙහි හා ධාතු වංසයෙහි සඳහන් වේ. දේවානම් පියතිස්ස රජතුමා ඒ පාත්‍රය තමාගේ රාජභවනයෙහිම තබා ගෙන පූජාසත්කාර කළ බව ද කියා තිබේ. මේ කරුණ සමන්තපාසාදිකා නම් විනය අටුවාවෙහි සඳහන් වන්නේ සුමන සාමණේරයන් ගේ පාත්‍රයම සුවඳ දියෙන් සෝදා පිරිසිදු කොට ධාතූන් වහන්සේ එයට වඩා දුන්නේය කියා ය. බුදුන්වහන්සේ සැරයටියක් පාවිච්චි කළ බව ද කිසි තැනක සඳහන් වී නැත. මෙහි තුන්වන ගාථාවෙහි “වෙඨනං තිදසෙ පුරෙ” යනුවෙන් දැක්වෙන හිස් වෙළුම (ජටාව) සිද්ධාර්ථ කුමාරයන්ගේ ජටාව විය හැකිය. ගිනිගානා දණ්ඩක් තථාගතයන් වහන්සේ පරිහරණය කළ බව ද කිසි තැනක සඳහන් වී නැත.

බෝධීන් වහන්සේ

සෝතාපත්ති මාර්ගඥානය, සකෘදාගාමි මාර්ගඥානය, අනාගාමි මාර්ගඥානය, අර්හත් මාර්ගඥානය යන ලෝකෝත්තර ඤාණ සතර හා ලොවුතුරා බුදුවරයන් ගේ සර්වඥතාඤාණය ද බෝධි නම් වේ. අප බුදුරජාණන් වහන්සේ ඒ ඥානයන් ලැබූයේ දඹදිව මධ්‍ය ප්‍රදේශයේ උරුවේලා නම් ජනපදයෙහි නේරඤ්ජරා නදීතීරයේ පිහිටි ඇසතු රුකක් මුලදී ය. තථාගතයන් වහන්සේටත් බෝධි නම් ඒ උත්තරීතර ඥානයන් ලැබීමට ඒ ඇසතු රුක උපකාර වූ බැවින් එය බෝධි නම් විය. පස්මරුන් දිනීමට උපකාර වූ බැවින් ජය මහා බෝධි නම් විය. පස්මරුන් දිනා සර්වඥපදප්‍රාප්ත වූ බුදුරජාණන් වහන්සේ ඒ වෘක්ෂ රාජයාගේ සෙවනෙහි සමවත් සුව විඳිමින් සත්දිනක් මුළුල්ලෙහි ඒක පර්යංකයෙන් වැඩහුන් සේක. සම්බුද්ධත්වයට පැමිණීමට උපකාර වීම නිසා තථාගතයන් වහන්සේ සතියක් මුළුල්ලෙහි පරිභෝග කළ නිසා ද ඒ බෝධීන් වහන්සේ පරම පූජනීය පාරිභෝගික චෛත්‍යයක් විය. ඒ බෝධීන් වහන්සේගෙන් බිජුවටක් ගෙන්වා ජේතවනද්වාරය සමීපයේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් රෝපණය කරවූ ආනන්ද බෝධීන් වහන්සේද ලක්දිව අනුරාධපුර නගරයේ වැඩ සිටින දක්ෂිණශාඛා බෝධීන් වහන්සේ ද ඒ බෝධි වෘක්ෂවලින් පැවත එන සියලුම බෝධි වෘක්ෂයෝ ද වැඳුම් පිදුම් කිරීමට සුදුසු පාරිභෝගික චෛත්‍යයෝය.

ශ්‍රී පාද

සැදැහැවතුනට වැඳපුදා ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ තැන පිහිටවා වදාළ පා සටහන් පද චෛත්‍ය නම් වේ. ඒවාද පාරිභෝගික චෛත්‍යන්ටම අයත්ය. මෙ කල ඒවාට ශ්‍රී පාද යයි ව්‍යවහාර කෙරෙති. පද චෛත්‍ය හෙවත් ශ්‍රී පාද තුනකි. සම්‍යක් සම්බෝධියට පැමිණීමෙන් අටවන වසරෙහි තථාගතයන් වහන්සේ කැළණීපුර විසූ මණිඅක්ඛික නම් නා රජුගේ ආරාධනාවෙන් පන්සියයක් භික්ෂූන් වහන්සේ හා ලක්දිවට වැඩ වදාරා කල්‍යාණි චෛත්‍යස්ථානයේ කළ රත්න මණ්ඩපයේ වැඩසිට දන් වළඳා අවසානයෙහි සමන්තකූට පර්වතයට වැඩ වදාරා එහි උන්වහන්සේ ගේ පා සටහන පිහිටවා දඹදිවට පෙරළා වැඩි සේක. සුනාපරන්ත රට වෙළඳ ගමක වෙළෙඳුන් විසින් තථාගතයන් වහන්සේ උදෙසා සඳුන් හරයෙන් කළ ශාලාව පිළි ගැනීම සඳහා පුණ්ණ තෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් තථාගතයන් වහන්සේ වෙළඳ ගමට වැඩ එහි වැස පෙරලා වඩින ගමනේදී නර්මදා නදී තිරයට වැඩම කළ කල්හි එහි වූ නාගරාජයා විසින් පූජනීය වස්තුවක් ඉල්ලීමෙන් නර්මදා ගංගා තීරයේ වැලිතලාව මත තථාගතයන් වහන්සේගේ පා සටහන පිහිටවා වදාළ සේක. එය රළ ආකල්හි ජලයෙන් වැසෙන බවත් රළ පහ වූ කල්හි පෙනෙන බවත්කියා තිබේ. තථාගතයන් වහන්සේ ඉන් නික්ම සච්චබද්ද පර්වතයට වැඩම කර එහි වෙසෙන සච්චබද්ද තෙරුන්ගේ ඉල්ලීමෙන් ගල්තලාවේ පා සටහන් පිහිට වූ සේක.

සොළොස්මස්ථානය

මහියංගණ චෛත්‍යය, නාගදීපයේ රාජායතන චෛත්‍යය, කැළණි දාගැබ, සමන්කුළු පව්වේ ශ්‍රී පාදය, දිවාගුහාව, දීඝවාපී චෛත්‍යය, මුතියංගණ චෛත්‍යය, තිස්සමහාරාම චෛත්‍යය, ශ්‍රී මහා බෝධිය, මිරිසවැටි සෑය, ස්වර්ණමාලි චෛත්‍යය, ථූපාරාම චෛත්‍යය, අභයගිරි චෛත්‍යය, ජේතවන චෛත්‍යය, මිහින්තලා පර්වතයේ ශෛල චෛත්‍යය, කතරගම කිරිවෙහෙර යන මේ චෛත්‍ය සොළස බුදුරජුන් වැඩ සිට සමවත් සමවැදීමෙන් පරිභෝග කළ ස්ථානයන් හි පිහිටි චෛත්‍ය ලෙස සලකනු ලැබේ. යම් තැනක බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක් නම්, ඒ ස්ථානවල පාරිභෝගික චෛත්‍යය ක් වේ. එබැවින් ඒ ස්ථානවල සර්වඥ ධාතූන් වහන්සේ පිහිටුවා කළ ස්ථූප වඩාත් පූජනීය වේ. එබැවින් ඒවා මහා ස්ථාන ලෙස සළකනු ලැබේ.

බුදුරදුන් ලක්දිවට වැඩම කිරීම

බුදුරජාණන් වහන්සේ මේ ලක්දිවට තෙවරක් වැඩම කළ බව විනය අටුවාව, මහාවංශය ආදී පෞරාණික ග්‍රන්ථවල සඳහන් වී ඇත්තේ ය. තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් නව වන මස දුරුතු පසළොස්වක් පොහෝ දිනයෙහි යකුන් දමනය කරනු පිණිස මහියංගණයට වැඩි සේක. බුදුවීමෙන් පස්වන වසරෙහි බක්මස අමාවක් පොහෝ දින උදය කාලයේ මිණිපළඟක් නිසා යුද්ධයට සැරසී සිටි චූලෝධර මහෝධර යන නා රජුන්ගේ යුද්ධය සන්සිඳවීම පිණිස දෙවන වර නාගදීපයට වැඩ වදාළ සේක. තෙවන වර බුදුවීමෙන් අටවන වස වෙසක් පසළොස්වක් පොහෝ දිනයෙහි කැළණි පුර විසූ මණිඅක්ඛික නම් නා රජුගේ ආරාධනාවෙන් පන්සියයක් රහතන් වහන්සේ සමග තථාගතයන් වහන්සේ කැළණි පුරයට වැඩ වදාළ සේක. බුදුරජුන් ලක්දිවට වැඩම කළ පළමුවන දෙවන වාරවලදී අන් ස්ථානවලට වැඩම කළ බවක් විනය අටුවාවෙහි හෝ මහාවංසයෙහි සඳහන් නොවේ. කැළණි පුරයට වැඩම කළ තුන්වන වාරයේදී ස්වර්ණමාලී චෛත්‍යස්ථානය, ථූපාරාම චෛත්‍යස්ථානය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි ස්ථානය, මුතියංගණ චෛත්‍යස්ථානය, දීඝවාපී චෛත්‍යස්ථානය, කැළණි චෛත්‍යස්ථානය, යන ස්ථාන සයෙහි නිරෝධ සමාපත්තියට සමවැදී වැඩ සිටි බව විනය අටුවාවෙහි සඳහන් වේ. ඒ ගමනේදී සමන්තකූට පව්වට වැඩවදාරා එහි සිරිපා සටහන පිහිට වූ බව හා එම පර්වත පාදයෙහි දිවා විහරණය කොට දීඝවාපිය හා ශ්‍රී මහා බෝධිය පිහිටන ස්ථානය, රුවන් වැලි සෑය පිහිටන ස්ථානය. ථූපරාමය පිහිටන ස්ථානය, ශෛල චෛත්‍ය පිහිටන ස්ථානය, යන තැන්වල නිරෝධ සමාපත්තියට සමවන් බවද මහාවංසයෙහි සඳහන් වේ.

ඇබැටක් පමණ වූ ධාතූන් වහන්සේ නමක් වුව ද යම්කිසි තැනක වැඩ සිටින්නේ නම් එතැන බුදුරදුන් වැඩ සිටින්නාක් වැනි ය. සුමන සාමණේරයන් විසින් දහම්සෝ රජු වෙතින් මෙරටට වැඩම කරවන ලද ධාතූන් වහන්සේ ලා මේ රටේ දාගැබ් බුදුපිළිම ආදියෙහි විසිර වැඩ සිටින්නාහ. එබැවින් සොළොස්මස්ථානයට පමණක් නොව සෑම තැනම දාගැබ් බුදුපිළිම මහබෝ යන චෛත්‍යයන්ට බුදුරජුන්ට මෙන්ම ගරු බුහුමන් කළ යුතුය. ධාතූන් වහන්සේ ලා නැත්ද බුදුරදුන් උදෙසා කර ඇති උද්දේශික චෛත්‍ය වන බුදු පිළිමවලටද ගරු බුහුමන් කළ යුතුය.

චෛත්‍යයනට වරද කිරීම

යෙ පරිනිබ්බුතෙ තථාගතෙ චෙතියං හින්දන්ති බෝධිං ඡින්දන්ති ධාතුම්හි උපක්කමන්ති තෙසං කිං හොතීති? භාරියං කම්මං හොති ආනන්තරිය සදිසං. සධාතුකං පන ථූපං වා පටිමං වා බාධමානං බොධිසාඛං ඡින්දිතුං වට්ටති, සචෙ තත්ථ නලීනා සකුණා චෙතියෙ වච්චං පාතෙන්ති, ඡින්දිතුං වට්ටති යෙව. පරිභොග චෙතියතො හි සරීර චෙතියං මහන්තතරං චෙතියවත්තුං හින්දිත්වා ගච්ඡන්තං බොධිමූලම්පි ඡින්දිත්වා හරිතුං වට්ටති. යා පන බොධි සාඛා බොධිඝරං බාධති තං ගෙහරක්ඛණ්තං ඡින්දිතුං න ලභති, බොධි අත්ථං හි ගෙහං, න ගෙහත්ථාය බොධි, ආසනඝරෙපි එසෙව නයො, යස්මිං පන ආසනඝරෙ ධාතුයො නිහිතා හොන්ති, තස්ස රක්ඛනත්ථාය බොධිසාඛං ඡින්දිතුං වට්ටති. බොධිරක්ඛණත්ථං ඔජාහරණසාඛං වා පූතිට්ඨානංවා ඡින්දිතුං වට්ටතියෙව, සරීරපටිජජග්ගනෙ විය පුඤ්ඤම්පි හොති

(මනොරථපූරණි 250)

තේරුම :

“යමෙක් තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු චෛත්‍ය බිඳිත් ද, මහබෝ සිඳිත් ද, ධාතූන් වහන්සේ ලා වැනසීමට උපක්‍රම කෙරෙත් ද ඔවුනට කුමක් වේද යත්? ආනන්තර්ය කර්මයක් හා සමාන බරපතල අකුශල කර්මයක් වේ. සධාතුක ස්ථූපයකට හෝ බුදු පිළිමයකට හෝ බාධා පැමිණෙන බෝ අතු කැපීම වටනේ ය. ඉදින් ඒ බෝ අතුවල හිඳ පක්ෂීහු චෛත්‍යයෙහි වර්චස් හෙලත් නම් කපන්නට වටනේ ය. පරිභෝග චෛත්‍යයට වඩා ශරීර චෛත්‍ය උසස් හෙයිනි. චෛත්‍ය වස්තුව බිඳගෙන යන බෝ මුල් ද සිඳ ඉවත් කරන්නට වටනේ ය. යම් බෝධි ශාඛාවක් බෝධි ගෘහයකට බාධක වේ නම් එය ගේ රැකීම සඳහා සිඳීම නොවටී. ගෙය බෝධිය පිණිස ය. බෝධිය ගෙය පිණිස නොවේ. ආසනඝරය ගැන ද මේ ක්‍රමය ම ය. යම් ආසනඝරයක ධාතු නිදන් කොට ඇත්තේ නම්, එය රකිනු පිණිස බෝධි ශඛා සිඳීම වටී. බෝධිය රකිනු පිණිස ඕජාව ගලන අතු හෝ දිරූ තැන් හෝ ඉවත් කිරීම වටී. එසේ කිරීමෙන් ශරීර ප්‍රතිජග්ගනයෙහි කුසල් ද වේ.

වැඳීමේ අනුසස්

වැඳීමට පිදීමට සුදුසු ගුණයන්ගෙන් යුත් බුද්ධාදි උත්තමයන් වහන්සේ ලාට වැඳීමෙන් ලැබෙන අනුසස මෙලොව පරලොව දෙකෙහිදීම ලැබෙන්නේ ය. මෙලොව ලැබෙන අනුසස් මෙසේ වදාරා තිබේ.

අභිවාදන සීලිස්ස - නිච්චං වුද්ධාපචායිනො

චත්තාරො ධම්මා වඩ්ඪන්ති - ආයු වණ්ණෝ සුඛං බලං

(ධම්ම පද සහස්සවග්ග)

“අභිවාදනය කරන ස්වභාවය ඇත්තා වූ නිතර වැඩිහිටියන්ට ගරු බුහුමන් කරන්නා වූ තැනැත්තාට ආයුෂය වර්ණය සැපය බලය යන මේ ධර්මයෝ සතර දෙන වැඩෙත්ය” යනු එහි තේරුම යි.

මේ ආයු වැඩීම යයි වදාරා ඇත්තේ අභිවාදනය කරන මනුෂ්‍යයා හට නියම ආයුෂය ඉක්මවා අභිවාදනයේ බලයෙන් වර්ෂ සිය ගණනක් දහස් ගණනක් ජීවත් විය හැකි බව නොව රෝගාදී අන්තරායයන් නිසා ආයුෂය තිබියදී අතරකදී මරණය නොවී නියම ආයු කාලය ජීවත් විය හැකිවීම ය. වන්දනාමය කුශලය, පැමිණෙන්නා වූ රෝගාදී අන්තරායයන් මැඩලිය හැක්කේ ද ඒ කුශලයේ බලය අනුව ය. වඳින්නවුන්ගේ නුවණ හා ශ්‍රද්ධාව අනුව වන්දනාමය කුශලය ද කුඩා මහත් වේ. දුබල වන්දනාමය කුශලය බලවත් හේතුවකින් පැමිණෙන අන්තරායයන් මැඩලීමට සමත් නොවේ. ස්වල්ප වූ ජලය මත මහ ගින්නක් නිවීමට සමත් නො වන්නාක් මෙනි. බලවත් වන්දනාමය කුශලය එයට වඩා බලයෙන් අඩු අකුශලයන් නිසා වන අන්තරාය වළක්වා දිවි රැකදීමට සමත් වේ. නුවණින් කරන දුබල වන්දනාමය කුශලයන්හි එතරම් බලයක් නැති බව කිව යුතුය. නුවණින් යුක්තව බලවත් සැදැහයෙන් යුක්තව දවස දෙවේලේ තුනුරුවන් වඳින තැනැත්තාගේ ඒ කුශලය ඉතා බලවත් ය. එය අනේකාන්තරායයන් දුරු කොට ආයුරාරෝග්‍යාදී අනේක සම්පත් සාදා දීමට සමත් වේ.

ගින්නක් ඇතිවනු සමඟම එයින් ආලෝක රූප ඇතිවී එය අවට පැතිරී යන්නාක් මෙන් සත්ත්වයාගේ හෘදයෙහි සිතක් ඇතිවනු සමඟම ඒ සිතින් ආලෝකය වැනි යම්කිසි රූප කොටසක් ඇති වී ශරීරය තුළ පැතිර යන්නේ ය. ශරීරයෙන් ගමනාදී ක්‍රියා කෙරෙන්නේ එසේ ඇතිවන රූප නිසා ය. සිතින් ඇතිවන රූප සිත්වල සැටි සැටියට අනේකප්‍රකාර ය. කෝපය, භය, ශෝකය යන මේවා ඇති වූ කල්හි ඒ පුද්ගලයාගේ ශරීර වර්ණය වෙනස් වී විරූප වන්නේ සමහරවිට ශරීරයෙන් දහදිය ගලන්නට වන්නේ වෙවුලන්නට වන්නේ කෝපාදියෙන් යුක්ත සිත්වලින් ඇති වූ නො මනා රූප ශරීරයේ පැතිරයාම නිසා ය. ප්‍රීතියෙන් සිටින තැනැත්තෙකු දෙස බැලුවහොත් ඔහුගේ ශරීරය පිනා ගොස් පැහැපත් වී ඇතිබව දැකිය හැකිය. එසේ සිදුවන්නේ ප්‍රීතිසහගත සිතින් ඇති වූ ප්‍රණීත රූප ඔහුගේ ශරීරයෙහි පැතිරයාම නිසාය. තථාගතයන් වහන්සේ ශීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද සෘද්ධි බලයෙන්ද තවත් නොයෙක් කරුණෙන්ද සියලු සතුන්ට අග්‍රය හ. ඒ ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ශීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද සෘද්ධි බලයෙන්ද තවත් නොයෙක් කරුණෙන් ද සියලු සතුන්ට අග්‍රයහ. ඒ ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ගුණ අරමුණු කොට ඇති වන්නාවූ ද උන්වහන්සේගේ රූපකාය අරමුණු කොට ඇතිවන්නාවූ ද බලවත් වූ ශ්‍රද්ධාදියෙන් යුක්ත වන සෝමනස්ස සහගත ඥානසම්ප්‍රයුක්ත වන්දනා කුශල චිත්තය අතිප්‍රණීත රූප කොට්ඨාශයක් ඇති කරන්නකි. එයින් ඇති කරන ප්‍රණීත රූප ශරීරයෙහි පතළ කල්හි වාතාදි දෝෂයන් කිපී ඇති නම් ඒවා සන්සිඳේ. ඉන්ද්‍රියෝ පිනායෙති. ලේ මස් ආදී ධාතුහු ද පිණා යෙති. ඒවායේ බලයද වැඩි වේ. එයින් රොගවලින් වැළකීමේ ශක්තිය ලැබේ. ඇත්තා වූ රෝග ද සන්සිඳේ. සම්පූර්ණයෙන් සුව නොවූව ද තරමක ගුණයක් මුත් ලැබේ. ධර්ම සංඝ රත්න දෙක ද අනන්ත ගුණයෙන් යුක්ත වන බැවින් ඒ දෙකට වන්දනා කිරීමෙන් ද ඉහත ගුණ ලැබෙන්නේ ය. යමෙක් බුද්ධාදී රත්නත්‍රයට ශ්‍රද්ධාවෙන් යුක්තව දිනපතා වන්දනා කෙරේ නම් ඔහුගේ සන්තානයෙහි ඒ ප්‍රණීත රූප නැවත නැවත පැතිර යාමෙන් ජීවන ශක්තිය ලැබී අතරකදී මිය නො ගොස් නියමිත ආයුකාලය ඔහුට ජීවත් විය හැකි වේ. එය ආයු වැඩීමය. වර්ණ සුඛ බල වැඩීම ද එසේ ම සිදු වේ. තෙරුවන් වැඳීමේ ගුණ මෙ පමණක් නොවේ. නිතර තෙරුවන් වඳින තැනැත්තා දෙවියෝ රකිති. ඔහුගේ රක්ෂාව දියුණු වේ. කෙත්වතු පාළු නොවී දියුණු වේ. ග්‍රහ අපල දුරු වේ. කොතරම් අවාසනාවත් පුද්ගලයෙකු වුව ද දිනපතා කලක් තෙරුවන් වැඳීම කළහොත් ඔහුගේ අවාසනාව දුරු වී වාසනාව උදාවේ. නිතර තෙරුවන් සිහි කිරීම ඇසුරු කිරීම පව්කම්වලින් වැළකී සිටිය හැකි වීමට ද හේතු වේ. කියන ලද ගුණ වැඳීමෙන් පමණක් නොව තවත් පින්කම් වලින් ද ලැබිය හැකිය. වන්දනාව වනාහි කෙනෙකුට දවස දෙවේලේ දීර්ඝ කාලයක් වුව ද කළ හැකි පින්කමකි. අනිත් පින්කම් එසේ කිරීමට පහසු නැත. එබැවින් මෙලොව ආයුෂ වර්ණාදිය ලැබීමට වන්දනාව විශේෂ පින්කමක් හැටියට කියනු ලැබේ.

වන්දනාමය කුශලයෙන් මරණින් මතු ලැබෙන විපාකය නම් දෙව් ලොවත් මිනිස් ලොවත් ඉපිද දෙව් මිනිස් සැප ලැබීම යි. මෙය විශේෂයෙන් උපනුපන් ජාතියේ අන්‍යයන් විසින් ගරුබුහුමන් කරන පුද්ගලයෙකු වීමට හේතු වේ.

පාංසුකූල සඤ්ඤක තෙරුන් වහන්සේ

මෙයින් දෙ අනූ කපකට පෙර තිස්ස නම් බුදුන්වහන්සේ ලොව පහළ වූ සේක. දිනක් උන්වහන්සේ පාංසුකූලචීවරය ගසක වනා විහාරයට පිවිස වැඩහුන් සේක. සතුන් මරා ජීවත් වන මිනිසෙක් දුන්න හා කඩුවක් ගෙන දඩයමට යන්නේ වනයෙහි ගස මුදුනක තිබූ ඒ පාංසුකූලචීවරය දැක දුන්න හා කඩුව බිම තබා ප්‍රසන්න සිතින් මහත් ප්‍රීතියෙන් බුදුන්වහන්සේ සිහි කොට පරිභෝග චෛත්‍යයක් වන ඒ පාංසුකූලචීවරයට දොහොත් නඟා වැන්දේ ය. ඒ පිනෙන් ඒ තැනැත්තා දෙ අනූ කප මුළුල්ලෙහි සුගතියෙන් සුගතියට යෙමින් සසර සැරිසරා අප බුදුන්ගේ සස්නෙහි පැවිදිව රහත්ව නිවන් දුටුවේ ය.

ද්වෙ නවුතෙ ඉතො කප්පෙ - පංසුකූල මවන්ද’හං,

දුග්ගතිං නාභිජානාමි - වන්දනාය ඉදං ඵලං.

මේ පාංසුකූල සඤ්ඤක තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයෙකි. “මෙයින් දෙ අනූ වන කපෙහි මම පාංසුකූලයට වැන්දෙමි. ඒ පිනෙන් මෙතෙක් මම දුර්ගතිය නොදනිමි. මෙය වන්දනාවේ විපාකය” ය යනු එහි තේරුමයි. මේ කථාව අපදාන පාළියෙහි ආයේ ය. විමානවත්ථූපකරණයෙහි එන චණ්ඩාලි දෙව්දුවගේ කතාවද වන්දනානිසංසය දැක්වෙන කථාවෙකි. එය මෙහි අන් තැනක දක්වා ඇත.

වන්දනා විමාන වස්තුව

අප බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙන අවස්ථාවෙක එක් ගමක වස් එළඹ පවාරණය කොට බුදුන් දකිනු පිණිස සවැත් නුවර බලා ගමන් කරන්නාවූ සිල්වත් භික්ෂු සමූහයක් එක් ගමක් මැදින් වැඩම කරන කල්හි එගම එක් කතක් ඒ භික්ෂු පිරිස දැක ඉමහත් ආදර ගෞරවයෙන් පසඟ පිහිටුවා වැඳ, ඒ භික්ෂූන් නොපෙනී යන තෙක් ඇඳිලි බැඳ ගෙන මහත් සතුටින් ඒ භික්ෂූන් දෙස බලා සිට්යාය. ඕ තොමෝ පසු කාලයේදී මිය, ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව උපන්නාය. ඕ තොමෝ එහි දිව්‍ය ශ්‍රී සම්පත් වළඳමින් සිටින කල්හි දිව්‍යලෝක චාරිකාවෙහි වැඩම කළ මුගලන් මහ තෙරුන් වහන්සේට හමු වී ඇය කළ පින් වික්ස්හාරන කල්හි මේ පුවත ඈ මුගලන් මහ තෙරුන් වහන්සේට සැළ කළා ය.

වන්දනා ගමනේදී මියගිය උපාසිකාවක්

තථාගත පරිනිර්වාණයෙන් පසු අජාසත් රජතුමා විසින් ලත් සර්වඥ ධාතූන් වහන්සේලා වඩා හිඳවා චෛත්‍යයක් කරවූ පසු රජගහ නුවර එක් උපාසිකාවක් ඒ චෛත්‍යය ට පුදනු පිණිස වැටකොලු මල් සතරක් ගෙන බලවත් ශ්‍රද්ධාවෙන් වෙහෙස නොබලා චෛත්‍යය දෙසට ගමන් කරමි සිටියා ය. ඒ ගමනේදී වසු පැටවකු ඇති දෙනක් වේගයෙන් දුව ඇවිත් ඇයට ඇන්නා ය. ඒ පහරින් උපාසිකාව එ තැනම කලුරිය කොට තව්තිසා දෙව්ලොව උපන්නා ය. ඒ අවස්ථාවෙහි සක් දෙව් රජ ඔහුගේ අඩුතුන් කෙළක් දෙවඟනන් පිරිවරා උයන් කෙළියට යමින් සිටියේ ය. ඕ තොමෝ රන්වන් වස්ත්‍රාභරණයෙන් සැරසී රන්වන් රථයකට නැඟී රන්වන් ඡත්‍රය ඇතිව ඒ දෙවඟනන් අතර අන් සැම දෙනාම රූපශ්‍රීයෙන් යටපත් කරමින් පෙනී සිටියා ය. සක්දෙව් රජ රූසිරින් සැමදෙනා ඉක්මවා සිටින අළුත් දෙවඟනක දැක විස්මයට පැමිණ “කිනම් කුශලයකින් මේ සම්පත් ලැබුවාදැ” යි ඇසීය.

එකල්හි දෙවඟන කියන්නී “දේවේන්ද්‍රයෙනි, කිසිවෙකු කැමැති නොවන කෝසාතකී නම් වැලක් ඇත. මම චෛත්‍යයට පුදනු සඳහා එයින් මල් සතරක් ගෙන චෛත්‍යය කරා ගමන් කරමින් සිටියෙමි. බුදු රදුන්ගේ ධාතූන් ගැන් සිත්මින් පහන් සිතින් ගමන් කළ මට අනිකක් ගැන් සිතන්නට නොලැබිණ. එසේ යන්නා වූ මම මඟ සමීපයේ පැටවකු සමඟ සිටි දෙනක දුව ඇවිත් ඇන මරනු ලැබීමි. එපමණින් මම මේ සම්පත්තිය ලදිමි. ඉදින් අදහස පරිදි චෛත්‍යයට මල් පුදන්නට ලැබිණි නම් මම මෙයට වඩා මහත් සම්පත් ලබන්නට තිබුණේය” යි කීවාය. එබස් අසා සක්දෙව් රජ තව්තිසා දෙවියන් පහදවනු පිණිස මාතලී දෙව්පුත් අමතා මෙසේ කීය.

පස්ස මාතලී අච්ඡෙරං - චිත්තං කම්ම ඵල ඉදං,

අප්පකම්පි කතං දෙය්‍යං - පුඤ්ඤං හොති මහප්ඵලං.

-

නත්ථි චිත්තේ පසන්නම්හි - අප්පිකා නාම දක්ඛිණා,

තථාගතෙ වා සම්බුද්ධෙ - අථවා තස්ස සාවකෙ.

-

එහි මාතලෙ අම්හෙපි - හිය්‍යො හිය්‍යො මහෙමසෙ,

තථාගතස්ස ධාතුයො - සුඛො පුඤ්ඤානමුච්චයො.

-

තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි - සමෙ චිත්තෙ සමං ඵල,

චෙතොපණීදි හෙතුහි -සත්තා ගච්ඡන්ති සුග්ගතිං.

-

බහුන්නං වත අත්ථාය - උප්පජ්ජන්ති තථාගතො,

යත්ථ කාරං කරිත්වාන - සග්ගං ගච්ඡන්ති දායකා.

මාතලී! මේ විචිත්‍ර වූ ඵලය බලන්න. ස්වල්ප සත්කාරයක් වූ ස්වල්ප දානයක් වූ පින මහත්ඵලය. තථාගත සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු කෙරෙහි සිත ප්‍රසන්න කල්හි සුළු දානයක්ය කියා නැත. මාතලී! එව, අපිද තථාගතයන් වහන්සේගේ ධාතූන් වඩ වඩා පුදමු. පින් රැස් කිරීම සැපයකි. බුදුරදුන් ජීවමාන කල්හිත් පිරිනිවි කල්හිත් පූජා කරන්නහුගේ සිත සම නම් පූජාවෙන් වන පින්පලය සමාන වන්නේ ය. සිත මනා කොට තබා ගැනීම හේතුකොට සත්ත්වයෝ සුගතියට යන්නාහ. බොහෝ ජනයාට වැඩ පිණිස තථාගතයන් වහන්සේ ලොව පහළ වන සේක. තථාගතයන් වහන්සේට පූජා සත්කාර කොට දායකයෝ ස්වර්ගයට යන්නාහ.

මෙසේ කියා සක් දෙවිඳු උයන් කෙළියෙහි යාම අතහැර චූඩාමණි චෛත්‍යය වෙත ගොස් එහි සතියක් පූජා පැවැත්වීය. එක් දිනක් දෙව්ලොව වැඩම කළ ආයුෂ්මත් නාරදස්ථවිරයන් වහන්සේ ට සක්දෙව් රජ මේ පුවත සැළ කළේය. උන්වහන්සේ ධර්මසංග්‍රාහක තෙරුන් වහන්සේලාට සැළ කළහ. (විමානවත්ථු පීත විමාන)

චිත්තප්‍රසාද කුසලය

බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය කෙරෙහි සිත පහදා ගැනීම චිත්තප්‍රසාද කුශලය ය. තුනුරුවන් හැඳින ගැනීමට තුනුරුවන් ගුණ තේරුම් ගැනීමට නො සමත් කරවන, තුනුරුවන් ගුණ වසන මෝහය දේවාදීන් මැවුම්කරුවන් ගැලවුම්කරුවන් ලෙස වරදවා පිළිගන්නා දෘෂ්ටිය, පරලොවක් නැත, පින්පවු වල විපාක නැත ය කියා පිළිගන්නා දෘෂ්ටිය, එසේද, මෙසේද කියා දෙපැත්තට ඇදෙන විචිකිත්සාව, අන්‍යන්ගේ ගුණවත් බව, උසස් බව, පූජ්‍ය බව, ඉවසිය නොහෙන ඊර්ෂ්‍යාව, අන්‍යන්ට ගරු බුහුමන් කිරීමට නො කැමති කරවන මානය, ධනය හා පස්කම් සැපයම ලොව ඇති උසස් දෙය වශයෙන් සලකන තෘෂ්ණාව යනාදී ක්ලේශයෝ ගෞරවයෙන් තුනුරුවන් පිළිගැනීමට බාධා කරන ධර්මයෝය. සිත් කිලිටි කරන ධර්මයෝය.

ප්‍රසන්න සිතය කියනුයේ ඒ කෙලෙස් කුණු නැති සිතය. සිතෙහි ඒ කෙලෙස් කුණු, කෙලෙස් කසට, කෙලෙස් අඳුර ඇති තාක් ඒ පුද්ගලයාට තථාගතයන් වහන්සේගේ සර්වඥභාවය පරිශුද්ධභාවය පූජ්‍ය භාවය නො දැනෙන්නේ ය. නො පිළිගැනෙන්නේ ය. තථාගත ධර්මයේ සත්‍යතාවය නෛර්යාණික භාවය පරිශුද්ධභාවය උත්තම භාවය නො දැනෙන්නේ ය. නො පිළිගැනෙන්නේ ය. සංඝයාගේ සුප්‍රතිපන්නභාවය බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා වූ නික්ලේශී වූ පූජ්‍ය වූ මහෝත්තමයෙකැ යි ගෞරවයෙන් පිළිගතහොත් ධර්මය හෝ පිළිගතහොත් සංඝයා හෝ පිළිගතහොත් ඒ පිළිගැනීමෙන් ඉහත කී කෙලෙසුන් සිතෙන් බැහැර වී සිත ප්‍රසන්න වන්නේ ය. සිත පහදා ගැනීම යයි කියන ලදුයේ රත්නත්‍රය පිළිගෙන ඉහත කී කෙලෙසුන් දුරු කර ගැනීම ය. ශ්‍රද්ධාව යයි කියනුයේ ද ගෞරවයෙන් තෙරුවන් පිළිගැනීමට ය. චක්‍රවර්තී රජුගේ උදකප්‍රසාදක මාණික්‍යය බොර වතුරට දැමූ කල්හි ජලයේ බොර සියල්ල ඉවත් වී පෑදෙන්නාක් මෙන් ශ්‍රද්ධාව ඇති වූ කල්හි සිතෙහි බොර වූ දෘෂ්ටි මෝහාදී කෙලෙසුන් පහවී සිත පැහැදෙන්නේ ය. තුනුරුවන් පිළිගන්නා ස්වභාවය වූ ශ්‍රද්ධාවම කුශලයකි. ශ්‍රද්ධාවෙන් යුක්ත පහන් සිතද කුශලයකි. ඇතැම්හු දානාදී අන් කිසි පිනක් නැතුව ශ්‍රද්ධාව උපදවා සිත පහන් කර ගැනීමෙන් මද මරණින් මතු දෙව් ලොව උපදිති.

සැවැත් නුවර විසූ අදින්නපුබ්බක බමුනාගේ පුත් මට්ටකුණ්ඩලී මරණාසන්නයේදී තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදා ගැනීමේ කුශලයෙන් දෙව්ලොව උපන්නේය. ඒ බව ඇසූ අදින්නපුබ්බක බමුණා බුදුරදුන් වෙත එළඹ “පින්වත් ගෞතමයෙනි! කවදාවත් දනක් නොදී පූජාවක් නොකොට බණක් නොඅසා සීලයක් සමාදන් නොවී ඔබ කෙරෙහි සිත පහදා ගැනීමෙන් පමණක් දෙව්ලොව උපන්නෝ ඇද්දැ” යි ඇසීය. “බ්‍රාහ්මණය, එකකු දෙදෙනකු නොව සියදෙනෙකු දෙසියදෙනෙකු නොව අප කෙරෙහි සිතපහදා ගැනීමෙන් දෙව්ලොව උපන් අය ගණනක් නැති තරමට ඇත්තාහ” යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

දුබල වූ චිත්තප්‍රසාදයෙහි හෙවත් ශ්‍රද්ධාවෙහි සමත්කම ඇත්තේ මරණාසන්නයේදී ඇතිවුවහොත් සතර අපායෙන් මුදවා දෙව්ලොව උපත ලබාදීමට පමණෙකි. බුදුරදුන් මුණගැසීම උන්වහන්සේ වෙනුවෙන් කළ මහා චෛත්‍යයක් දැකීම මහජනයා රැස්ව මහා පූජෝත්සව පවත්වනු දැකීම යනාදිය හේතුකොට සමහරුන්ට සමහර විට තථාගතයන් වහන්සේ කෙරෙහි ඉතා බලවත් චිත්ත ප්‍රසාදයක් ඇතිවේ. එක් වරෙක එබඳු බලවත් චිත්තප්‍රසාදයක් හෙවත් ශ්‍රද්ධාවක් ඇතිවුවහොත් ඒ චිත්තප්‍රසාද කුශලය ඒ පුද්ගලයා සතර අපායෙන් මුදවා ඔහුට කල්ප බොහෝ ගණනක් මුළුල්ලෙහි උසස් ලෙස දෙව් මිනිස් සැප ලබාදී අන්තිමට නිර්වාණ සම්පත්තියද ලබා දෙන්නේ ය. බලවත් චිත්ත ප්‍රසාදයෙන් මහත් වූ ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබූ පුද්ගලයන් බොහෝ දෙනෙකුගේ කථා ආපදාන පාළියෙහි දක්නා ලැබේ.

බුදුරදුන් කෙරෙහි බලවත් ප්‍රසාදය යමකුට ඇති වුවහොත් ඔහුගේ සිත කය දෙකම බුදුරදුන් දෙසට නැමෙන්නේ ය. ඇදෙන්නේ ය. ඔහුට ඉබේම “සාදු සාදු” යි කියැවෙන්නේ ය. දෙ අත් ඉබේම එසවෙන්නේ ය. ධනය ඇති නම් ඔහු ලක්ෂයකින් කෝටියකින් වුව ද බුදුරදුන් පුදන්නේය. අනේපිඬු මහසිටු තුමාට බුදුරදුන් කෙරෙහි බලවත් චිත්තප්‍රසාදය ඇති විය.

අනේපිඬු සිටුතුමාගේ කථාව

අනේපිඬු සිටුතුමා සැවැත් නුවර විසූ මහා ධනේශ්වරයෙකි. අනාථයන්ට සංග්‍රහ කරන ත්‍යාගවන්තයෙකි. ඔහුගේ පළමු නම සුදත්ත ය. අනාථ සංග්‍රහය බෙහෙවින් කරන බැවින් පසුකලෙක ඔහුගේ නම අනාථපිණ්ඩික විය. ඔහුගේ බිරිය රජගහ නුවර සිටුවරයාගේ සොහොයුරියකි. රජගහ සිටුහුගේ බිරිය අනේපිඬු සිටුතුමාගේ සොහොයුරියකි. මේ නෑකම නිසා ඒ පවුල් දෙකෙහි තද සම්බන්ධයක් පැවතිණ. රජගහ සිටුතුමා එනුවර උපදනා බඩුගැල් පන්සියයක් ගෙන කලින් කල වෙළඳාම් සඳහා සැවැත් නුවරට යයි. එසේ ගිය කල්හි සැවැත් නුවරින් යොදුනකට මොබ සිට තමා පැමිණි බව අනේපිඬු සිටුතුමාට දන්වා යවයි. අනේපිඬු සිටුතුමා පෙර මගට ගොස් මහත් හරසරින් රජගහ සිටුවරයා පිළිගෙන සැවැත්නුවරට කැඳවා ගෙන එයි. අනේපිඬු සිටුතුමා ද එසේම වරින් වර සැවැත් නුවර උපදනා බඩු ගැල් පන්සියයක් පුරා ගෙන රජගහ නුවරට වෙළඳාම සඳහා යයි. රජගහ සිටු ද අනේපිඬු සිටුතුමා පැමිණෙන කල්හි එසේම සංග්‍රහ කරයි.

එක් දවසක් අනේපිඬු සිටුතුමා ගැල් පන්සියයකින් බඩු ගෙන රජගහ නුවර බලා ගොස් නුවරින් යොදුනකින් මොබදී තමා පැමිණි බව රජගහ සිටුවරයාට දන්වා යැවීය. එවේලෙහි සිටුතුමා දහම් අසනු පිණිස විහාරයට ගොස් සිටියෙන් පණිවිඩය නොලැබිණ. අනේපිඬු සිටුතුමා පෙරමග බලාසිට පිළිගැනීමට එන කිසිවකු නැතිවම රජගහ නුවර බලා පිටත් වී ගොස් සිටු ගෙදර දොරටුවේවත් පිළිගන්නා කෙනෙකු නැතිව ගේ තුළට පිවිසියේ ය. එවේලෙහි රජගහ සිටු තුමා පසු දිනට බුදු පාමොක් මහ සඟනට ආරාධනා කර තිබූ බැවින් සේවකයන් කැඳවා ගෙන දර පැලීම්, ලිප් බැඳීම්, භාජන පිළියෙල කිරීම් ආදිය කරවමින් සිට අනේපිඬු සිටුතුවරයා වෙත පැමිණ වචනයක් දෙකක් පමණක් කථා කොට ඒ කටයුතුවලටම ගියේය. අනේපිඬු සිටු ඔහුගේ කටයුතු නිම්වන තුරු බලාසිටියේ ය. රජගහ සිටුතුමා දාන සංවිධානය කර අනේපිඬු සිටුතුමා වෙත පැමිණ පිළිසඳර කතා කොට අස්නක වාඩි විය. එකල්හි අනේපිඬු සිටුතුමා “පෙර අප මෙහි පැමිණෙන කල්හි ඔබ යොදුනක් දුර පෙරමඟට අවුත් මහත් හරසරින් අප පිළිගෙන අන් සියළු වැඩ නවත්වා අපට සංග්‍රහ කරන්නෙහිය. අද ඔබ මහ කලබලයකින් සේවකයන් රැස් කරගෙන මහා ව්‍යාපාරයක යෙදී සිටින්නෙහි ය. කිමෙක්ද, මේ ගෙදර සෙට දවස ආවාහ මංගල්‍යක් හෝ ඇත්තේද? විවාහ මංගල්‍යක් හෝ ඇත්තේද? මහා දානයක් හෝ දෙන්නට සූදානම් වන්නේහිද? සේනාව සහිත රජතුමාට හෝ නිමන්ත්‍රණයක් කර ඇත්තේද? අද මේ කලබලය කුමක්දැ” යි කීහ. “සිටුතුමෙනි, මෙහි ආවාහයක් හෝ විවාහයක් නැත. රජතුමාට නිමන්ත්‍රණයකුත් කර නැත. සෙට මගේ මහා දානයක් ඇත. බුදුපාමොක් මහ සඟනට සෙට ආරාධනාවක් කර ඇත්තේ ය” යි රජගහ සිටු කීය.

ඈත අතීතයේ පටන් බුදු කෙනෙකුන්ගේ අග්‍රෝපස්ථායක භාවය පතා අවුත් ඇති අනේපිඬු සිටුතුමාට “බුදුන්” යන පදය ඇසෙනු සමඟම ඉමහත් ප්‍රීතියක් ඇති විය. ඔහු නැවතත් “ඔබ බුදුන් යයි කියන්නෙහි දැ” යි රජගහ සිටුවරයාගෙන් ඇසීය. “එසේය සිටු තුමනි බුදුන් යයි කියමි” ටි රජගහ සිටු කීය. අනේපිඬු සිටුතුමා බුදු කෙනෙකුන් ඇති බව කලින් අසා නො තිබිණි. හදිසියේ ඒ නම අසන්නට ලැබීම ඔහුට පුදුමයක් විය. එබැවින් ඔහු දෙවනු තෙවනුවත් ඒ ප්‍රශ්නය ඇසීය. රජගහ සිටු පෙර සේම පිළිතුරු දිණ. ඉක්බිති සිටුතුමා මහත් ප්‍රීතියට පැමිණ “ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දක්නට දැන් යා හැකි දැ” යි ඇසීය. “සිටුතුමෙනි, දැන් ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට යාමට සුදුසු වේලාව නොවේ. හෙට සුදුසු කාලයෙහි ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට යනු මැනව” යි රජගහ සිටුතුමා කීය. බුදුරදුන් කෙරෙහි බලවත් ප්‍රසාදයක් ඇති වූ අනේපිඬු සිටුතුමා ගේ සිත බුදුරජාණන් වහන්සේ දෙසටම ඇදී නැමී බරවී සිටියේය. ඔහු සෙට ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දක්නට යමි යි යහනේ වැදහොත්තේ ය. රාත්‍රියේ ප්‍රථම යාමය ඉක්මුණු කල්හි ඔහු නින්දෙන් අවදිව බුදුරදුන් සිහි කළේය. ඔහුගේ සිත අනිකකට නො ගි‍යේය. බුදුරදුන් කෙරෙහි ඇති වූ බලවත් ප්‍රසාදය බලවත් ප්‍රීතිය නිසා ඔහුගේ සිත බුද්ධාරම්මණයෙහි සමාධි විය. සමාධිය ආලෝකයක් ඇති කරන්නකි. භාවනාවෙහි යෙදෙන යෝගාවචරයන්ට සමාධියෙන් වන ආලෝකය අඳුරේ වාඩිවී භාවනා කරන තමන්ගේ ශරීරය පෙනෙන පමණට ඇති වේ. ඇතැමකුට තමන් ඉන්නා ගෙය පුරා ඒ ආලෝකය ඇති වේ. ඇතැමකුට ගෙයින් පිටත ද පෙනෙන සේ ආලෝකය ඇති වේ. සමහරුන්ට යොදුන් දෙක තුන දුරට ආලෝකය ඇති වේ. සමහරුන්ට පොළවෙහි පටන් අකනිටා බඹලොව දක්වා පැතිර සිටින මහා ආලෝකයක් ඇති වේ. භාග්‍යවතුන් වහන්සේට දස දහසක් සක්වළ පුරා පැතිර සිටින ආලෝකයක් ඇති වූ බව කියා තිබේ.

පෙර සිතුල් පවුවේ ගල්ගෙයක් තුළ අමාවක් පොහෝ දිනයක මධ්‍යම රාත්‍රියේ මහාන්ධකාරයේ භාවනාවෙහි යෙදී හුන් යෝගාවචර භික්ෂූන් දෙනමකගෙන් එක් නමක් “ස්වාමිනි, මට දැන් චෛත්‍යංගණයේ මලසුනෙහි පස් පැහැය ඇති මල් පැහැදිලි ලෙස පෙනේය.” යි කීහ යි ද, අනික් නම “ඇවැත්නි, එය පුදුමයක් නොවේ. මට දැන් මහ සයුරෙහි යොදුනක් තැන සිටින මස්කැසබුවෝ ද පෙනෙති” යි කීහ යි ද විශුද්ධි මාර්ගයේ දක්වා තිබේ. සිටුතුමාට ද ඒ අවස්ථාවෙහි ප්‍රීති සහගත සමාධි ආලෝකය ඇති වී රාත්‍රිය ගෙවී හිර උදා වූවාක් මෙන් දැනිණ. ඔහු යහනින් නැගිට සඳළුතලයට ගොස් අහස බලා සඳ දැක තවමත් රාත්‍රිය ය. දැන් ප්‍රථම යාමය ඉක්ම ඇත්තේ ය, පහන් වන්නට තව දෙයාමයක් ඇත්තේ යයි නැවත ද යහන් ගැබට පිවිස සයනය කළේය.

දෙවන යාමය ඉකුත් කල්හි සිටාණන් ද අවදි විය. බලවත් ප්‍රසාදයෙන් බුදුරදුන් සිහි කරන්නට පටන් ගත් ඔහුගේ සිත බුද්ධාරම්මණයෙහි සමාධි වී නැවත ද ආලෝකය පහළ විය. දෙවන වර ද සඳළුතලයට ගොස් සඳ බලා පහන් නොවූ බව දැන නැවත යහනෙහි වැද හොත්තේය. පශ්චිම යාමයේ අවසාන භාගයේ ඔහුට නැවත අවදි විය. එවෙලෙහි ඔහුට සත්මහල් පහයේ දොරවල් ඉබේම ඇරිණ. ඔහු ඒ ආලෝකයෙන්ම ගෙයින් නික්ම මගට බැස නගරද්වාරය කරා ගියේය. ඔහුට අමනුෂ්‍යයෝ නගරද්වාරය අළහ. ඔහු නුවරින් බැහැරට යන කල්හි ඔහුට ලැබී තිබූ ආලෝකය අතුරුදහන් විය. කිසිවක් නොපෙනී ගියේය. එයින් බියපත් වූ ඔහු බුදුන් දක්නට යාම නවතා ආපසු එන්නට සිතුවේය. එය දුටු සීවක නම් දෙවියා නො පෙනී සිට ඔහුට ඇසෙන සේ මෙසේ කීවේය.

“සතං හත්ථි සතං අස්සා සතං අස්සතරීරථා.

සතං කඤ්ඤා සහස්සානී ආමුත්තමණිකුණ්ඩලා,

එකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝති සොළසිං”

“ඇතුන් සිය දහසක් ද අශ්වයන් සිය දහසක් ද අශ්වතරයන් යෙදූ රථ සිය දහසක් ද යන මේ සියල්ල බුදුන් දක්නට ඉදිරියට තබන එක් පියවරකින් සොළොස් වන කලාව පමණ නො වටනේ ය. ගෘහපතිය, ඉදිරියට යව, ගෘහපතිය, ඉදිරියට යව, ඉදිරියට යාම ඔබට යහපතකි. පසු බැසීම ඔබට යහපතක් නොවේ” ඒ ශබ්දය ඇසීමෙන් සිටුතුමාට නැවත ධෛර්යයක් ලැබිණ. බුද්ධාලම්බන ප්‍රීතිය නැවත පහළ විය. ආලෝකයද නැවත පහළ විය. මඳ දුරක් ඉදිරියට ගිය කල්හි නැවත ද ආලෝකය අතුරුදහන් විය. සිටුතුමා බියපත් ව ආපසු එන්නට සිතුවේ ය. සීවක නම් දෙවියා එවර ද ඔහු උනන්දු කළේය. තෙවන වරද එසේම විය. තුන්වන වරටත් පහළ වූ ආලෝකයෙන් සිටුතුමාට බුදුරදුන් වැඩ සිටින ශීත වනයට යා හැකි විය. අද ලෝකයෙහි “අපි බුදුම්හ, අපි බුදුම්හ” යි කියන්නෝ බොහෝ ඇතහ. මුන්වහන්සේගේ බුදුබවෙහි සැබෑ බොරු බව මම කෙසේ දැනගනිම් ද” කියා සිතක් එහිදී ඔහුට ඇති විය. ඉක්බිති මාපියන් බාල කාලයේ මට තැබූ නම දැන් මා හැර අන් කිසිවෙක් නො දනිති. ඉදින් මුන්වහන්සේ සියල්ල දන්නේ නම් ඒ නමින් මා අමතත්වා යි සිතීය. තථාගතයන් වහන්සේ එවේලෙහි සක්මන් කරමින් හුන් සේක. උන්වහන්සේ දුර සිටම සිටුතුමා එනු දැක, සක්මනින් බැස පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ “සුදත්ත මෙහි එනු” යි ඔහු ඇමතූ සේක. එකල්හි සිටුතුමා “භාග්‍යවතුන් වහන්සේ නමින්ම මා ඇමතූ සේකැ” යි බලවත් ප්‍රීතියට පැමිණ තථාගතයන් වහන්සේගේ පාමුල වැඳ වැටී “ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ සුවසේ සැතපුණු සේක්දෝ” යි විචාළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ -

“සබ්බදා චෙ සුඛං සෙති - බ්‍රාහ්මණො පරිනිබ්බුති

යො න ලිම්පති කාමෙසු - සීතිභූතො නිරූපධි,

සබ්බා ආසත්තියො චෙත්වා - විනෙය්‍ය හදයෙ දරං

උපසන්තො සුඛං සෙති - සන්තිං පප්පුය්‍ය චෙතසො.”

යනුවෙන් “යමෙක් කාමයන්හි නො ඇලේද කෙලෙස් ගිනි නිවා ගැනීමෙන් සිසිල් වූයේ ද උපධි නැත්තේ ද කෙලෙස් නිවුණා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ සෑම කල්හි සැප සේ නිදන්නේ ය. සකල තෘෂ්ණාව ද සිඳ සිතෙහි ක්ලේශ දාහය දුරුකොට සන්සුන් සිත් ඇති තැනැත්තේ චිත්තයාගේ සන්සිඳීමට පැමිණ සුවසේ නිදන්නේය” යි වදාරා සිටුතුමාට දහම් දෙසන සේක්. දාන කථාදිය වදාරා සිටුතුමාගේ සිත චතුරාර්යසත්‍ය ධර්මය තේරුම් ගත හැකි තත්ත්වයට සකස් වූ කල්හි චතුරාර්ය සත්‍යයන් ප්‍රකාශ කළ සේක. සිටුතුමා සත්‍යාවබෝධයෙන් සෝවාන් ඵලයට පැමිණ තුනුරුවන් සරණ ගොස් උපාසකත්වයට පැමිණියේය.

ඉක්බිති සිටුතුමා භික්ෂු සංඝයා සහිත තථාගතයන් වහන්සේට පසුදින දානයට ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම් භාවයෙන් ආරාධනාව පිළිගෙන වදාල සේක. දෙවන දින ඔහු රජගහ සිටු නිවසේම දන් පිළියෙල කරවා බුදුපාමොක් මහ සඟනට දන් දී අවසානයේ සැවැත් නුවර වස් විසීමට ද බුදුරජාණන් වහන්සේට ආරාධනා කෙළේය. තථාගතයන් වහන්සේ එය ඉවසා වදාරා දහම් දෙසීමෙන් ඔහුගේ සිත පහන් කළ සේක. සිටුතුමා සැවැත් නුවරට පෙරළා ගොස් අටළොස් කෝටියක් මිලදී ජේත නම් කුමාරයාගේ උයන ගෙන අටළොස් කෝටියක් වියදම් කොට සකලාංග සම්පූර්ණ කොට විහාරයක් කරවා බුදුපාමොක් මහ සඟන වැඩම කරවා අටළොස් කෝටියක වියදමින් විහාර පූජෝත්සවය පැවැත්වීය. ඔහු බුදු සස්නෙහි පරිත්‍යාග කළ ධනය සිවු පනස් කෝටියකි.

අනේපිඬු සිටාණන්ට එපමණ මහත් ධනස්කන්ධයක් බුදුසස්නට පරිත්‍යාග කළ හැකි වූයේ ඔහු තුළ ඇති වූ චිත්තප්‍රසාදයේ ආනුභාවයෙනි. එබඳු බලවත් චිත්තප්‍රසාද නිර්දනයන්ට ද ඇති වේ. එහෙත් ඔවුනට ධන පරිත්‍යාගයක් නො කළ හැකිය. යම්කිසි දුගියකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනේපිඬු සිටුතුමාට මෙන් බලවත් ප්‍රසාදයක් ඇතිවුවහොත් ධන පරිත්‍යාගයක් නොකළේ ද ඒ චිත්තප්‍රසාදය ම කල්ප බොහෝ ගණනක් දෙව්මිනිස් සැප ලබා දී නිවන් සම්පත්තිය ද ලබා දෙන කුශලයක් වේ. දෝත් නගා වරක් කළ වැඳීමෙන් වරක් කළ පූජාවකින් නිවන් දැක ඇත්තේ එබඳු බලවත් චිත්තප්‍රසාදයක් ඇති වූ පුද්ගලයන් ය. එය ලෝකයේ කලාතුරකින් සිදුවන්නකි. එවැන්නන්ගේ කතා අසා වරක් වැඳීම ම වරක් පිදීම ම නිවන් දැකීමට ප්‍රමාණවත්ය කියා මුලා නොවිය යුතුය.

අග්‍රප්‍රසාදය

බුද්ධරත්නය ධම්මරත්නය සංඝරත්නය යන මේ රත්නත්‍රය ලෝකයෙහි සියල්ලට අග්‍ර වන්නේ ය. අග්‍ර වූ බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ වූ පැහැදීම අග්‍ර ප්‍රසාදයක් වන්නේ ය. “අග්ගෙ ඛො පන පසන්නානං අග්ගෝ විපාකො හොති” යනුවෙන් “අග්‍ර වූ බුද්ධාදීන් කෙරෙහි ප්‍රසන්න වූවන්ට අග්‍රවිපාක ලැබේය” යි වදාරා තිබේ. අග්‍ර වූ රත්නත්‍රය කෙරෙහි පැහැදීමේ විපාක වශයෙන් මනුෂ්‍යයකු වුවහොත් අන්‍යයන් ගරු බුහුමන් කරන උසස් මනුෂ්‍යයෙක් වේ. ඔහුට උසස් ආහාර පාන උසස් ඇඳුම් පැලඳුම් උසස් ගෙවල් උසස් පරිභෝග භාණ්ඩ උසස් තනතුරු ලැබේ. දෙවියකු වුව ද එසේ ම ය.

තෙරුවන් පිදීමේ අනුසස්

එක් සමයෙක් හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයෙන් නික්ම දනව් සැරිසරා බරණැස් නුවර බලා වඩනාහු අතර මඟ තෝදෙය්‍ය නම් ගම සමීපයේ පිහිටි දේවාලයක් සමීපයට පැමිණ එහි වැඩ හිඳ ආනන්ද ස්ථවිරයන් වහන්සේ යවා ඒ සමීපයෙහි ගොවිකම් කරමින් සිටි බමුණකු කැඳවූහ. ඒ බමුණු තෙමේ තථාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට නො වැඳ සමීපයෙහි වූ දෙවොලට වැඳ සිටියේය. “බ්‍රාහ්මණය, මේ ප්‍රදේශය නුඹ කුමකැයි සිතන්නෙහිදැ” යි තථාගතයන් වහන්සේ ඔහුගෙන් විචාළහ. බමුණු තෙමේ “පින්වත් ගෞතමයෙනි, මෙය අප පරම්පරාවෙහි අය වැඳුම් පිදුම් කරගෙන ආ චෛත්‍යස්ථානයෙකැයි සලකා වඳිමි” යි කීය. “බ්‍රාහ්මණය, මේ ස්ථානයට වැඳීමෙන් නුඹ කරන්නේ යහපත් ක්‍රියාවෙකැ” යි තථාගතයන් වහන්සේ ඔහුට පැවසූහ. එය ඇසූ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ මේ ස්ථානයට වැඳීම ගැන පසසන්නේ කිණම් කරුණකින් දැයි කල්පනා කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට දැන ගැනීම පිණිස ඝටීකාර සූත්‍රය දේශනා කොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ යොදුනක් උස ස්වර්ණ චෛත්‍යය හා තවත් චෛත්‍යය ද තමන් වහන්සේ ගේ සෘද්ධි බලයෙන් අහස්හි මවා පා “බ්‍රාහ්මණය, පූජාහර්හ වූ මෙබඳු චෛත්‍යයනට පිදීම සුදුසු යයි වදාරා මහ පිරිනිවන් සුතුරෙහි වදාරා ඇති පරිදි චෛත්‍යයන් කිරීමට සුදුසු පුද්ගලයන් සතර දෙනා දක්වා ශරීර චේතිය, උද්දිස්ස චේතිය, පරිභෝග චේතිය යන චෛත්‍යයන් ගැන විශේෂ විස්තරයක් ද වදාරා අවසානයෙහි මේ ගාථාවන් වදාළ සේක.

“පූජාරහෙ පූජයෙතො බුද්ධෙ යදි ච සාවකෙ.

පපඤ්චමසතික්කන්තෙ තිණ්ණසොතපරිද්දවෙ

-

තෙ තාදිසෙ පූජයතො නිබ්බුතෙ අකුතො භයෙ,

න සක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්තම්පි කෙනවි”

තේරුම:

සසර දික් කරන තෘෂ්ණා මාන දෘෂ්ටි සංඛ්‍යාත ප්‍රපඤ්චයන් ඉක්ම වූ ශෝක පරිදේවයන් අවසන් කළා වූ එහෙයින්ම අභිවාදනාදියෙන් හා සිවුපසයෙන් පිදීමට සුදුසු වූ පිරිනිවියා වූ ද ජීවමාන වූ ද ලොව්තුරා බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ට ද බුද්ධශ්‍රාවකයන්ට ද අභිවාදනාදියෙන් හා චීවරාදී ප්‍රත්‍යයෙන් පුදන්නහුට රාගාදී ක්ලේශයන් ප්‍රහීන බැවින් නිවුණා වූ කිසිවකින් භයක් නැත්තා වූ එබඳු ගුණයෙන් යුක්ත වන බුද්ධාදී උත්තමයන් හට පූජා සත්කාර කරන්නහුට ලැබෙන්නා වූ පින් මෙතෙකැයි කිසිවකු විසින් ප්‍රමාණ කළ නො හැකිය.

පූජාර්හ වූ උත්තම පුද්ගලයෙකුට වැඳුම් පිදුම් කිරීමෙන් ලැබෙන පින මෙපමණය කියා කිසි පුද්ගලයකු විසින් කිනම් ආකාරයකින් වත් ප්‍රමාණ නො කළ හැකි බව ඉහත ගාථාවලින් දැක්වේ. පින ප්‍රමාණ නො කළ හැකිවන කල්හි එයින් ලැබෙන විපාකයත් මෙතෙකැයි ප්‍රමාණ නො කළ හැකිය. පිරිනිවියා වූ හෝ ජීවමාන වූ හෝ පූජාර්හ උත්තමයකුට වරක් පිදීමේ වටිනාකම ගැන සුධාරපිණ්ඩියත්ථෙරාපදානයේ මෙසේ වදාරා ඇත්තේ ය.

“චතුන්නම්පි දීපානං ඉස්සරං යොධ කාරයෙ,

එකිස්සා පූජනායෙතං කලං නාග්ඝති සොළසිං”

“යමෙක් දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතර මහද්වීපයට ම රජ කෙරේ ද ඒ රජකම එක් පූජාවක සොළොස්වන කලාවෙන් කලාවක් පමණ ද නො අගීය” යනු එහි තේරුම යි.

මෙහි “සොළසිං කලං” සොළොස්වන කලාවෙන් කලාවය යි කියනුයේ පූජාවකින් වන කුශලය සොළොසට බෙදා ඉන් කොටසක් නැවත සොළොසට බෙදා මෙසේ දහසයෙන් එකක් නැවත දහසය වරක් බෙදීමෙන් ලැබෙන කොටසය. මිනිස් ලොව මිනිසෙකුට ලැබිය හැකි උසස්ම සම්පත්තිය සතර මහද්වීපයට අධිපති චක්‍රවර්තී රාජ්‍ය සම්පත්තිය ය. එය එක් පූජාවකින් සොළොස්වන කලාවෙන් කලාව තරම්වත් නො අගී යයි කියනුයේ දිව්‍ය ලෝකයේ දේව සම්පත්තිය හා සසඳන කල්හි චක්‍රවර්තී රාජ්‍ය සම්පත්තිය ඉතා සුළු වන බැවිනි. තුනුරුවන් කෙරෙහි සැදැහැයෙන් වරක් පූජා කරන්නහුට එය හේතු කොට අනේක වාරයෙහි දෙව් ලොව ඉපිද දෙව් සැප වළඳන්නට ලැබෙන්නේ ය.

මනුෂ්‍ය සම්පත්තිය දිව්‍යසම්පත්තිය යන මේ දෙක අතර ඇත්තේ මහා පරතරයකි. මිනිසා පරම සම්බාධ පරමප්‍රතිකූල මාතෘගර්භයෙහි ආලෝකය නො දකිමින් මහා අන්ධකාරයේ අතක් පයක් මුත් නො සෙල්විය හැකි පරිදි කලක් සිරවී සිට ඉතා දුක සේ මව්කුසයෙන් බිහිව මෙලොව එළිය දකින්නේ ය. ඔහු ඉපිද පළමුවෙන්ම කරන්නේ හැඬීම ය. හැරෙන්න පෙරළෙන්න වාඩිවෙන්න නැගිටින්න බැරිව උන් තැනම මල මුත්‍රා කරගනිමින් කලක් දුක සේ ගත කොට ඔහු නැගී එන්නේ ය.

දෙවියා කැඩපතක රූ සටහනක් පහළ වන්නාක් මෙන් සර්වාංග සම්පූර්ණයෙන් සර්වාභරණයෙන් සැරසී පහළවීම් වශයෙන් උපදී. ඒ උත්පත්තියට ඕපපාතික උත්පත්තියයි කියනු ලැබේ. මිනිසාට මෙන් ඉපදී කටයුතු කරගත හැකි වීමට කලක් බලා සිටීමට ඔහුට සිදු නො වේ. උපන් කෙණෙහි සිටම ඔහුට සියල්ල කළ හැකි ය. මිනිසා මෙන් ඉපිද මලමුත්‍රා ගොඩේ හඬහඬා නො සිට ඔහු උපන් දින පටන් මහත් යස ඉසුරෙන් ප්‍රීති වන්නේ ය. මිනිසා ඉපිද ජීවත් වන්නේ සුලු කලෙකි. දෙවියෝ බොහෝ කල් ජීවත් වෙති. ඉතාම අඩු ආයුෂ ඇති චාතුර්මහාරාජිකයේ දෙවියෝ වර්ෂ අනුලක්ෂයක් ජීවත් වෙති. පරනිර්මිත වශවර්තියේ දෙවියෝ අවුරුදුතුන් කෝටි සැට ලක්ෂයක් ජීවත් වෙති. පරණ වත් වත්ම මිනිස් සිරුර දිර දිරා නරක් වේ. පරණ වීමෙන් මිනිස් සිරුරේ ලේ අඩු වී මස් දිය වී ඇට මතු වේ. සම රැළි වැටේ. තැනින් තැන ලප ඇති වේ. කල් යාමෙන් හිසකේ රැවුල් පැසී දත් සැලී මිනිස් සිරුර විරූප වේ. මිනිසාගේ ඉන්ද්‍රියෝ ද පරණ වීමෙන් දුබල වෙති. කොතෙක් කල් ජීවත් වුව ද දෙවියන්ට ඒ ජරාව නැත. දෙවියාගේ ශරීරය මරණය තෙක් උපන් සැටියටම වෙනසක් නොවී පවතී. මිනිස් සිරුරෙන් දහඩිය ආදී අපවිත්‍ර දෑ ගලන්නේ ය. එබැවින් මිනිසාගේ වස්ත්‍රය කිළිටි වේ. ඔහුට නිතර ඇඳුම් මාරු කරන්නට ඇඳුම් පවිත්‍ර කරන්නට සිදු වේ. දෙවියන්ට එබන්දක් නැත. ඔවුන්ට උත්පත්තියෙන් ලද ඇඳුම් අපවිත්‍ර හෝ දිරා ඉරී හෝ වෙනස් කරන්නට සිදු නොවේ. ඔවුනට උත්පත්තියෙන් ලත් ඇඳුම් කිසිඳු වෙනසක් නොවී මරණය තෙක් පවතී. මනුෂ්‍යාගේ ගෙවල් හා ඇඳ පුටු ආදී භාණ්ඩ ද දිරා යන බැවින් ඔහුට ඒවාද නැවත නැවත අළුත් කරන්නට සපයන්නට සිදුවේ. දෙවියන්ගේ විමානාදිය වෙනසක් නොවී ජීවිතාන්තය දක්වා පවතී. මේ කරුණු අනුව බලන කල්හි කිය යුත්තේ මිනිස් ලොව චක්‍රවර්තී රජුගේ සම්පත්තිය ද දිව්‍ය සම්පත්තියට වඩා බොහෝ පහත් බවය. එබැවින් තථාගතයන් වහන්සේ “කපණං විස්සකෙ මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය” යනුවෙන් දිව්‍ය සුඛයේ හැටියට මිනිස් ලොව රාජ්‍යය දිළිඳු එකකැයි විශාඛා උපාසිකාවට වදාළ සේක. මෙතරම් උසස් දිව්‍ය සම්පත්තියක් ලබා දෙන්නා වූ ද ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ලබා දෙන්නා වූ ද පූජාමය කුශලයේ වටිනාකම පමණ නො කළ හැකිය.

පූජාව හා දානය

පූජාව ය දානය ය කියා පින්කම් දෙකක් ඇත්තේය. තථාගතයන් වහන්සේ විසින් මංගල සූත්‍ර දේශනයේදී “පූජාච පූජනීයනං” යනාදී ගයෙන් පූජාව එක් මංගල්‍යයක් ලෙසත් “දානඤ්ච ධම්මචරියා ච” වදාරා ඇත්තේ පූජාව ය දානය ය කියා පින්කම් දෙකක් ඇති බැවිනි. ඒ දෙක්හි ඇත්තේ මඳ වෙනසකි. දාන ශීල භාවනා වශයෙන් කුශලය තුනට බෙදන තැන්වලදී පූජාව දානය යන මේ දෙකම දානමය කුශලයට ම අයත් වේ.

උසස් පුද්ගලයනට තමාගේ ගෞරවය හා ප්‍රසාදය දැක්වීම් වශයෙන් පුෂ්පාදී යම්කිසි වස්තුවක් පිරිනැමීම පූජා නම් වේ. තමාට උසස් වූ හෝ පහත් වූ හෝ සම වූ හෝ කවරෙකුට වුව ද අනුග්‍රහයක් වශයෙන් යම්කිසිවක් ප්‍රදානය කිරීම දාන නම් වේ. ගුණවත් පුද්ගලයනට අනුග්‍රහ වශ්යෙන් ගෞරවයෙන් ආහාරපාන වස්ත්‍රාදිය පිරිනැමීමට පූජාවය යි ද කිය හැකිය. දානයයි ද කිය හැකිය.

දානය විශේෂයෙන් අනුග්‍රහ කිරීම ප්‍රදාන කොට ඇතියකි. ප්‍රතිග්‍රාහකයාට උවමනා නැති දෑ දීම උසස් දානයක් නොවේ. උසස් දානයක් වන්නට ප්‍රතිග්‍රාහකයාගේ උවමනා සළකා බලා ප්‍රතිග්‍රාහකයාගේ උවමනා පිරිමැසෙන දෙයක් දිය යුතුය. අනුග්‍රහ පූර්වක පූජා කරන්නවුන් විසින් ද ප්‍රතිග්‍රාහකයන්ගේ උවමනා සලකා බලා ප්‍රයෝජනවත් දේවල් පිදිය යුතුය.

අනුන්ගෙන් යම්කිසිවක් උවමනා නැති උසස් පුද්ගලයන්ට ගෞරවය පිණිස හා ප්‍රසාදය දැක්වීම පිණිස පූජා කිරීමේදී තමා උසස් කොට සලකන ඒ පුද්ගලයාට නුසුදුසු නොවන කුමක් හෝ පිරිනැමීම සුදුසු ය. ප්‍රතිග්‍රාහකයාට තමා පිරිනමන දෙයින් ප්‍රයෝජනයක් වීම හෝ නො වීම එහිදී සැලකිය යුත්තක් නොවේ.

උසස් පුද්ගලයන් දක්නට යන විට ඒ පුද්ගලයාට ගරු කිරීමක් වශයෙන් ප්‍රසාදය දැක්වීම් වශයෙන් මල් පොකුරක් ගෙන ගොස් පිළිගැන්වීම දඹදිව සිරිතකි. මල් සැමදෙන කැමති වස්තුවකි. එය ශුද්ධ වස්තුවක් ලෙස ද සලකති. එබැවින් දෙවිවරුන්ට ද මල් පුදති. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ පසු උත්තම පුද්ගලයෙකු වන බැවින් උන්වහන්සේ දක්නට යන්නෝ ද මල් ගෙන ගොස් උන්වහන්සේට පිළිගැන්වූහ. උන්වහන්සේට මල් වලින් ප්‍රයෝජනයක් නැත ද ගෙනැවිත් පිරිනමන්නවුන් කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ ද ඒවා පිළිගත්හ. තථාගතයන් වහන්සේට මල් වලින් ප්‍රයෝජනයක් නැත ද උන්වහන්සේ ට ගරු කිරීමක් වශයෙන්, ප්‍රසාදය දැක්වීමක් වශයෙන් කරන්නා වු ඒ පූජාව මහත්ඵල මහානිසංස වන පින් කමක් වේ. බුදුරජාණන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් උන්වහන්සේ පිරිනිවීමෙන් පසු ද අද දක්වාම බෞද්ධයෝ උන්වහන්සේට මල් පුදන්නාහ. පිරිනිවියා වූ තථාගතයන් වහන්සේට ගරු කිරීම් වශයෙන් බෙහෙවින් පූජා කරන්නේ මල්ය. සුවඳ, සුවඳ දුම්, පහන්, කොඩි, පැන්, ගිලන්පස, දැහැත්, ආහාර, අටපිරිකර ආදී තවත් නොයෙක් දේ ද සැදැහැවත්හු පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේ උදෙසා පුදති. අතීතයේ නොයෙක් පින්කම් කොට ඒවායින් නානා ප්‍රකාර ඵල ලැබු අය ගේ ප්‍රවෘත්ති දක්වා ඇති, අපදාන විමානවත්ථු ආදී බෞද්ධ ග්‍රන්ථවල එන කථා අතර ද දක්නට ඇත්තේ පිරිනිවියා වූ බුදුවරයන් උදෙසා දාගැබ්, මහබෝවලට මල්, පහන්, සුවඳ, කොඩි, ගී, නැටුම් වැයුම් පුද කළ අයගේ කථා පමණකි. දැහැත්, ගිලන්පස, ආහාර හා චීවරාදී පරිෂ්කාර ආදී පූජා කළ අය පිළිබඳ කතා ඒ ග්‍රන්ථවල දක්නට නැත. සිද්ධාර්ථ බුදුරදුන්ගේ චෛත්‍යයට කප්රුකක් පූජා කළ කතාවක් අපදානයෙහි දක්නා ලැබේ. දැනුදු ඇතැමුන් චෛත්‍යයනට කප්රුක් පුදන්නේ ඒ කථාව අනුව යයි සිතමි. ඒ ග්‍රන්ථවල ආහාරපාන වස්ත්‍ර පූජා කිරීම පිළිබඳ කථා ඇත්තේ ජීවමාන බුදුවරුන්ට පූජා කළ අය පිළිබඳව ය. පූජා කළ අය පිළිබඳ කථා නැති පමණින් අජීවමාන බුදුවරුන් උදෙසා ආහාර පාන වස්ත්‍රාදිය පිදීම නිෂඵලය යි නො ගත යුතු ය.

නො පිළිගන්නා පූජාව

අජීවමාන බුදුවරුන් රහතුන් උදෙසා කරන පූජා උන්වහන්සේ ලා නො පිළිගන්නාහ. පරිභෝග නොකරන්නාහ. නොපිළිගන්නා වූ, පරිභෝග නොකරන්නා වූ නැති බුදුවරුන්ට, නැති රහතුන්ට පිදීමෙන් පිනක් ලැබේද? ඵලයක් ලැබේද? යනු මේ පූජාවන් පිළිබඳව ඇතැමුන් නඟන ප්‍රශ්නයකි. ඔවුන් ඒ ප්‍රශ්නය නඟන්නේ පින් පව් නො හැඳිනීම නිසාය. ජීවමාන බුදුරජාණන් වහන්සේට යම්කිසිවක් පූජා කරන කල්හි පින වන්නේ තථාගතයන් වහන්සේගේ පිළිගැනීම හෝ පරිභෝග කිරීම නොව පූජා කරන තැනැත්තා තුළ ඇතිවන ඒ වස්තුව තථාගතයන් වහන්සේට පිරිනමන ප්‍රසාදයෙන් යුක්ත සිත ය. පූජා කලහුට අනාගතයේ ඉෂ්ට විපාක ඇතිකර දෙන්නේ ද තථාගතයන් වහන්සේ විසින් නො ව පූජකයා තුළ ඇති වූ කුශල චිත්තයෙන්ම ය. යම්කිසි පූජාවක් කරන තැනැත්තකුට කුශලය ඇතිවන්නේ ඒ පූජාව පිළිගැනීමට ප්‍රථමයෙනි. ප්‍රතිග්‍රාහකයා විසින් පූජාව පිළිගන්නේ කුශල චිත්තය ඇති වූවාට පසුවය. පරිභෝග කරන්නේ ඊටත් පසුවය. පිළිගැනීම්, පරිභෝග කිරීම් දෙක සිදු නො වීමෙන් කලින් ඇති වූ කුශල චිත්තයට හෝ එයින් ලැබෙන විපාකයට හෝ වන හානියක් නැත. බාල කාලයේ තථාගතයන් වහන්සේ ඇති දැඩි කළ උන්වහන්සේ ගේ කුඩා මෑණියන් වන මහා ප්‍රජාපති ගෝතමී තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති මහත් භක්තිය නිසා උන්වහන්සේට සිවුරු පිණිස සළු සඟලක් පුදනු කැමැත්තී, රජගෙදර ගබඩාවල,බොහෝ අගනා වස්තු ඇතද ඒවා නොගෙන පුළුන් ගෙන්වා සියතින් ම නූල් තනා සියතින් ම සළු සඟලක් වියා කරඬුවක බහා හිස මත තබාගෙන දාශිගණයා හා තථාගතයන් වහන්සේ වෙත පැමිණ “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් නුඹ වහන්සේ උදෙසා සියතින්ම නූල අඹරා සියතින් ම වියා පිළියෙල කළ මේ සළු සඟල මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා” යි සැල කළාය. එකල්හි තථාගතයන් වහන්සේ “සංඝෙ දෙහි ගොතමී, සංඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පුජිති භවිස්සාමි සංඝො ච” යනුවෙන් ‘ගෞතමිය; සංඝයාට දෙව; ඒවා සංඝයාට දුන් කල්හි මම පූජා කරන ලද්දේ වෙමි. සංඝයා ද පූජා කරන ලද්දේ ය’ යි වදාරා ගෞතමිය ගේ පූජාව ප්‍රතික්ෂේප කළ සේක. තථාගතයන් වහන්සේ ලෝකයෙහි අග්‍රදක්ෂිණෙය්‍ය වන සේක. සංඝයාට පිදීමෙන් බුදුනට පිදීමෙන් වන කුශලය තරම් මහත් කුශලයක් නො වේ. සළු සඟල ප්‍රතික්ෂේප කිරීමෙන් තථාගතයන් වහන්සේට එය පිදීමේ කුශලය නැති වී යතහොත් බොහෝ වෙහෙසී ලබාගන්නට තැත්කළ ඒ කුශලය ලබාගන්නට නොදී එයට කුඩා කුශලයක් ලබා ගන්නට සැලැස්සීම තථාගතයන් වහන්සේ විසින් සිය මැණියන්ට කරන ලද ඉමහත් අපරාධයකි. බුදුවරයෝ මාපියන්ට ගරු කරන්නාහ. කිසි කලෙක අපරාධයක් නො කරන්නාහ. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට කළ පූජාව ප්‍රතික්ෂේප කොට එය සංඝයාට පුදන්නට නියම කරන ලද්දේ මහා ප්‍රජාපතී ගෝතමියට අතිරේක වශයෙන් තවත් කුශලයක් ලබා දීම පිණිස ය. මේ වස්ත්‍ර පිළිගන්නා සේක්වා යි කියා තථාගතයන් වහන්සේ ඉදිරියේ ඒ වස්ත්‍ර තැබූ පසු ඇගේ පින සිදුවී අවසානය. ඇයට බුදුරදුන් පිළිබඳව පූර්ව චේතනා, මුඤ්චන චේතනා, අපර චේතනා යන කුශල චේතනාත්‍රය ඇති වී අවසාන ය. තථාගතයන් වහන්සේ විසින් පිළිගැනීමෙන් හෝ නො පිළිගැනීමෙන් හෝ ඒ ඇති වූ කුශල චේතනාවලට වන අමුත්තක් නැත. තථාගතයන් වහන්සේගේ නියෝගයෙන් පිරිකර නැවත සංඝයාට පිදූ කල්හි ඇයට සංඝයා සම්බන්ධයෙන් ද පූර්ව චේතනා, මුඤ්චන චේතනා, අපර චේතනා යන චේතනාත්‍රය ඇතිවීමෙන් කුශල චේතනා සයක් වන්නේ ය. එයින් ඇයට වස්ත්‍ර පූජාව අධිකතර මහත්ඵල මහානිසංස වන්නේ ය. “තථාගතයන් වහන්සේ ගෝතමියගේ පූජාව ප්‍රතික්ෂේප කළේ ඒ කරුණ නිසා ය. නැත්තා වූ අජීවමාන බුදුවරුන්ට ආහාර පාන වස්ත්‍රාදිය පිදූ කල්හි ප්‍රතිග්‍රාහකයන් නැති කමින් පූජා කරන්නහුගේ පිනට හානියක් නැති බව ජීවමාන බුදු කෙනෙකුන්ට පූජා කිරීමෙන් වන කුශලයට සමාන කුශලයක් අජීවමාන බුදුවරුන්ට පිදීමෙනුත් ලැබිය හැකි බව කියන ලද කරුණු අනුව තේරුම් ගත හැකිය. පූජා කිරීමට බුදු කෙනෙකුන් නැතය කියා සංඝයා නැතය කියා පසුබට නොවී පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේට හැකි පමණින් පුදා බුද්ධ පූජාමය කුශලය අත්පත් කරගෙන සඟමොක් සැප ලබත්වා!

බුදුරදුන්ට වත් කිරීම

මල් පහන් ආදියෙන් බුදුරදුන්ට පිදීමෙන් පමණක් නොව උන්වහන්සේට වත් කිරීමෙන් ද සැදැහැතියන්ට පින්සිදුකරගත හැකිය. තථාගත පරිනිර්වාණයෙන් පසු ද ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුන් ජීවමාන කාලයේ උන්වහන්සේට කළ ගඳකිළිය හැමදීම, අසුන් පැනවීම, පැන වූ අසුන් තැන්පත් කිරීම, පහන් දැල්වීම, නාන පැන් මුව දෝනා පැන් පිළියෙල කිරීම, දැන් නෑමට වේලාව ය, දැන් දහම් දෙසීමට වේලාව ය, දැන් භික්ෂූන්ට අවවාද දීමට වේලාව ය යනාදීන් කාලාරෝචනය කිරීම යන වත් සියල්ල බුදුරදුන් ජීවමාන කාලයේදී කළාක් මෙන්ම පිරිනිවීමෙන් පසු ද කළ බව සමන්ත පාසාදිකා නම් වූ විනය අටුවාවෙහි හා සුමංගල විලාසිනි නම් වූ දික්සඟ අටුවාවෙහි ද කියා ඇත්තේ ය. ඒ අනුව ප්‍රතිමා මන්දිරයක හෝ දාගැබක බෝධියක හෝ තථාගතයන් වහන්සේට වත් කිරීමේ චේතනාවෙන් පරමල් ඉවත් කිරීම්, මලසුන් සේදීම්, හැමදීම්, කසළ බැහැර කිරීම්, පැන් එළවා තැබීම්, තණ ආදිය උදුරා ඉවත් කිරීම් යනාදී වත් කිරීමෙන් පින් කැමතියන්ට බොහෝ පින් සිදු කර ගත හැකිය. බුරුම බෞද්ධයෝ බුදුරදුනට වත් කිරීම් වශයෙන් සුවඳ පැන් පිළියෙල කොට බුදු රූ නහවති.

බුද්ධ පූජාවට කළ යුත්ත

පිරිනිවීමෙන් පසු තථාගතයන් වහන්සේ උදෙසා සැදැහැතියන් පුදන ආහාර පානයන්ට හා චීවරාදී පරිෂ්කාරයන් කෙරෙහි පිළිපැදිය යුත්තේ කෙසේද? යන වග ජීවමාන කාලයේදී තථාගතයන් වහන්සේ නො වදාළ සේක. එබැවින් දැන් ඒවාට කුමක් කළ යුතුද? යනු ගැටළු ප්‍රශ්නයක් වී තිබේ.

ප්‍රථම සාංඝික දානය වන බුද්ධප්‍රමුඛ උභතෝ සංඝයාට දෙන දානය බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු භික්ෂු භික්ෂුනී දෙසඟ මැද සධාතුක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තබා ප්‍රතිමා වහන්සේ ඉදිරියෙහි පාත්‍රය තබා සංඝයාට දෙන සියල්ලෙන් ම අග්‍ර කොට්ඨාශය බුදුරදුන් උදෙසා ඒ පාත්‍රයට බෙදමින් දානය දිය හැකි බව දක්ෂිණාවිභංග සූත්‍ර අටුවාවෙහි කියා තිබේ.

අනතුරුව-

“යං සත්ථු දින්නං තං යො සත්ථාරං ජග්ගති වත්තසම්පන්නො භික්ඛු තස්ස වා භික්ඛුස්ස සංඝස්ස වා දාතබ්බං, සප්පිතෙලානි පන ගහෙත්වා දීපා ජාලෙතබ්බා, සාටකං ගහෙත්වා පටාකා ආරොපෙතබ්බා.”

යනුවෙන් “ඒ දානයේදී තථාගතයන් වහන්සේට දෙන ලද දෙය උන්වහන්සේට උපස්ථාන කරන වතින් සම්පූර්ණ භික්ෂුවක් ඇති නම් ඒ භික්ෂුවට හෝ සංඝයාට දිය යුතුය. ගිතෙල් හා තෙල් ගෙන පහන් දැල්විය යුතුය. වස්ත්‍ර ගෙන කොඩි එසවිය යුතුය” යි දක්වා ඇත්තේ ය. මෙහි බුදුනට උපස්ථාන කරන භික්ෂුවය යි කියා තිබෙන්නේ දාගැබ් බෝධි ප්‍රතිමා ගෘහ යන මේවායේ වත කරන භික්ෂුවටය. පහන් දැල්වීම කොඩි එසවීම කළ යුත්තේද ඒ තැන්වල ය.

“ධම්මදායාදා මෙ භික්ඛවේ භවථ මා ආමිසදායාදා” යනුවෙන් “මහණෙනි, තෙපි මාගේ ධර්මය උරුම කොට ගන්නෝ වව්. ආමිසය ගන්නෝ නො වව්” යයි තථාගතයන් වහන්සේ විසින් ධර්මදායාද සූත්‍රයෙහි වදාරා තිබේ. තවද බුදුරජාණන් වහන්සේ වළඳා අවසන් වීමෙන් පසු තවත් ආහාර ඉතිරි වී ඇති අවස්ථාවක ආහාර නො ලැබ උන්වහන්සේ වෙත පැමිණි භික්ෂූන් දෙනමකට “මහණෙනි, මම දන් වළඳා අවසන් කොට සිටිමි. මේ ආහාර රාශියක් ඉතිරිව ඇත්තේ ය. කැමති නම් මේවා වළඳව්. තෙපි මේවා නො වළඳන්නහු නම් මම මේවා සතුන් නැති ජලයකට හෝ තණ නැති බිමකට දමන්නෙමැ”යි වදාළ විටෙක ඔවුන්ගෙන් එක් නමක් “මහණෙනි තෙපි මාගේ ධර්මය ගන්නෝ වව්. ආමිෂය ගන්නෝ නොවව්” යයි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. “මේ ආහාරයත් එක්තරා ආමිෂයකි. එබැවින් මම මෙය නො වළඳමි” යි ඒ දවස සාගින්නෙන් ගෙවයි නම් අනිත් භික්ෂුව ඒ ආහාරය ගෙන වළඳා සාගින්න සන්සිඳවා ගෙන ඒ දිනය ගත කරයි නම් ඒ දෙදෙනාගෙන් නො වැළඳූ පළමු භික්ෂුව ම පූජ්‍යතර වන්නේ ය. අතිශයින් ප්‍රශංසාවට සුදුසු වන්නේය” යි ධම්ම දායාද සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය. එය අනුව බලතහොත් බුදුනට පිදු වස්තූන් තමන්ගේ ප්‍රයෝජනයට නො ගෙන සිටීම ම භික්ෂූන්ට යෝග්‍ය බව කිය යුතුය. තථාගතයන් වහන්සේගේ භුක්තාවශේෂය ගෙන වළඳන්නා වූ භික්ෂුවට ඉන් කිසියම් පාපයක් වන බව ද එහි වදාරා නැත. එබැවින් යම් කිසි භික්ෂුවක් බුදුරදුන්ට පිදු ආහාර ගෙන පරිභෝග කරනවා නම් එයින් එම භික්ෂුවට වන පාපයක් නැති බව කිය යුතුය. ප්‍රතිමාගෘහාදියෙහී බුදුරදුන්ට පුදා ඇති ආහාර පාන ඒ තැන්වලින් ඉවත් කොට ඒ තැන් පිරිසිදු කළ යුතුය. ඒවායින් කිසි ප්‍රයෝජනයක් බුදුනට හෝ විහාර දාගැබ් වලට හෝ නැත. අහක දමන්නට ඇති ඒ ද්‍රව්‍ය ගෙන තමන් ගේ ප්‍රයෝජනයට යොදා ගැනීමෙන් කා හට වුව ද පාපයක් වන බවක් නො කිය හැකිය.

සැදැහැවතකු යම් කිසි වස්තුවක් විහාරයකට දාගැබකට බෝධියකට ගොස් බුදුරදුනට පුදන්නේ ඒ වස්තුව කෙරෙහි ඔහුගේ ආලයත් අයිතියත් අතහැර ය. පූජා කිරීමෙන් පසු ඒ වස්තුව ඔහුට අයිති නැත. පූජා කරනු ලැබූ බුදුරජාණන් වහන්සේ ද නැත. එබැවින් ඒ වස්තුව අස්වාමික වස්තුවකි. අහක දමන ලද්දක් වැනියෙකි. පාපයක් වන්නේ හිමියා විසින් නො දෙන ලදුව හිමියෙකු ඇති වස්තුවක් ඒ බව දැන දැන ගැනීමෙනි. හිමියෙකු නැති වස්තුවක් ගැනීම අදින්නදානය නො වේ. ඒ කරුණු අනුව සළකත හොත් බුදුරදුන්ට පුදා ඇති වස්තූන් පාංසුකූල සංඥාවෙන් ගැනීමෙන් කාට වුවත් වරදක් නො වන බව කිව යුතුය. එහෙත් බුදුනට පුදා ඇති වස්තූන් ගැනීමට තැත් නො කළ යුතුය. අපේ බණ පොතවල එන පතාකා ප්‍රේත වස්තුවේ හැටියට එය භයානකය.

පතාක ප්‍රේත වස්තුව

පෙර ලක්දිව රුහුණු පෙදෙසෙහි දීර්ඝායු නම් චෛත්‍යයක් විය. එහි ඔසවා තිබූ කොඩියක් සුළඟින් කැඩී ගොස් දුර පිහිටි කෙතක වැටිණ. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ එය දැක අතට ගෙන බලන්නේ එහි සටහන් කර තිබූ අකුරු දැක චෛත්‍යයට පුදන ලද්දක් බව දැන ඒ වස්ත්‍රයට ලෝභ කොට අකුරු තිබූ කොටස ඉරා දමා පොරවාගෙන ගෙදර ගියේය. කලකට පසු ඔහු කළුරිය කොට ගිනියම් වූ දහසක් යපට ඇඟේ වෙළුණු ප්‍රේතයෙක් විය. ඔහුට වාඩි වන්නට හෝ නිදන්නට හෝ නො පිළිවන. කෑම බීම කරන්නට නො පිළිවන. ඔහු මහබර ඔසවාගෙන ඉතා දුකසේ ඇවිදී. දිනක් ඒ ප්‍රේතයා මධ්‍යම රාත්‍රියේ එක්තරා ස්ථවිර නමක් ඉදිරියේ පෙනී සිට ඔහුට පැමිණි දුක කියා සිටියේ ය. තෙරුන් වහන්සේ ඔහුගේ දුක දැක මහත් සංවේගයට පැමිණ “නුඹට මේ දුකින් මිදීමට මා කරන්නේ කුමක්දැ” යි ඇසූහ. “හිමියනි, දීර්ඝායු චෛත්‍යයට කොඩි දහසක් පුදා මට පින් දුන හොත් මිදිය හැකි වන්නේ ය” යි කියා ප්‍රේතයා අතුරුදහන් විය. ප්‍රේතයා ගැන ඇති වූ මහත් අනුකම්පාවෙන් පසුදින තෙරුන් වහන්සේ කොඩි සොයන්නාහු පනසක් ලැබ ඒවා චෛත්‍යයට පුදා ප්‍රේතයාට පින් දුන්හ. ඒ පින් ලැබීමෙන් ප්‍රේතයාගේ හිස අටඟුලක් විවෘත විය. එදින රාත්‍රියේ ප්‍රේතයා නැවත ද තෙරුන් වහන්සේට පෙනී සිට හිස අටඟුලක් විවෘත වූ බව කීය. තෙරුන් වහන්සේ නැවත කොඩි පනසක් සොයා චෛත්‍යයට පුදා පින් දුන් කල්හි තවත් අටඟුලක් ප්‍රේතයාගේ ශරීරය විවෘත විය. මෙසේ ක්‍රමයෙන් කොඩි සොයා දහස සම්පූර්ණ කළ කල්හි ප්‍රේතයා සම්පූර්ණයෙන් නිදහස් විය.

එදින මධ්‍යම රාත්‍රියේ ප්‍රේතයා ශුද්ධ වස්ත්‍රයෙන් හා නානාභරණයෙන් සැරසී තෙරුන් වහන්සේ ඉදිරියේ දේවත්වයෙන් පෙනී සිටියේය. තෙරුන් වහන්සේ “නුඹ කවරෙක්දැ” යි ඇසූ කල්හි “හිමියනි, මම පෙර ගිණියම් වූ දහසක් යපටින් වෙලී කෑමක් බීමක් නැතිව මැරෙන්නේ ද නැතිව මහ දුක් වින්දෙමි. ඒ මම දැන් නුඹ වහන්සේගේ කරුණාවෙන් දුකින් මිදී දේවත්වයෙන් සුවසේ වෙසෙමි. කාරුණිකයන් වහන්ස මා හට මාපියන් විසින් නෑයන් විසින් කළ යුත්ත නුඹ වහන්සේ විසින් කරන ලද්දේ ය. ඒ මම නුඹ වහන්සේ දැක වැඳීමට මෙහි පැමිණියෙමි. නුඹ වහන්සේ ගේ කරුණාවෙන් මා දුකින් මිදී සැපයට පැමිණියාක් මෙන් නුඹ වහන්සේට ද අග්‍ර වූ ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සුඛයට පැමිණෙන්නට ලැබේවා.” යි ප්‍රේතයා කීය.

ඉක්බිති හෙතෙමේ “හිමියනි, බුද්ධ ධර්ම සංඝ යන මේ තුන් තන්හි කළ ස්වල්ප වූ ද පාපය අනන්ත දුක් ගෙන දෙන්නක් වන්නේ ය. එසේම ඒ තුන් තන්හි කරන ස්වල්ප වූද පූජාව අනන්ත ඵල දායක වන්නේ ය” යි කියා තෙරුන් වහන්සේ සාදරයෙන් ප්‍රදක්ෂිණා කොට වැඳ අතුරුදහන් විය.

මේ කථාව ලෝකප්පදීපකසාර නම් ග්‍රන්ථයෙන් ගන්නා ලදි. තුනුරුවනට පුදා ඇති සුළු දෙයක් වුව ද තමාගේ ප්‍රයෝජනයට ගැනීම අනාගතයෙහි අනන්ත දුක් ලැබෙන බරපතල පවක් බව මේ කථාව අනුව තේරුම් ගනිත්වා. මේවායේ බරපතල බව නො දත් ඇතැම්හු කිසි සැලකිල්ලක් නැතිව විහාරවල දාගැබ්වල බෝධිවල පුදා ඇති පහන් තමන්ගේ උවමනා වලට තැනින්තැන ගෙන යති. පහන් වල තෙල් ගනිති. ඉදල් මුසුන් හා භාජන තමන් ගේ උවමනා වලට ගෙන යති. කොඩි මල් ආදිය ගෙන යති. නපුරු විපාක ඇති විය හැකි බැවින් ඒවායින් වළකිත්වා.

මල් පිදීමේ අනුසස්

සුමන මල්කරු

අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහ නුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙක් හි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව සවණක් ඝණ බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන් බුද්ධ ලීලාවෙන් පිඬු පිණිස රජගහ නුවරට වන් සේක. රජුට සමන් මල් නැළියක් ගෙන යන්නා වූ සුමන මල් කරු ෂට්වර්ණ රශ්මි මාලාවෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනුඛ්‍යඤ්ජනයෙන් ශෝභාවත් වූ රුවන් පහන් ගසක් වැනි තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දෙහය දැක, අතිශය පහන් වූ සිත් ඇත්තේ කුමකින් තථාගතයන් වහන්සේට පූජාවක් කරන්නෙම්දෝ යි සිතනුයේ පූජා කිරීමට අන් දෙයක් නොදක්නේ රජුට ගෙන යන්නාවූ මේ මලින් තථාගතයන් වහන්සේ පුදමියි සිතා නැවත “දිනපතා රජුට ගෙන ගිය මේ මල් නො ගෙන ගියහොත් රජු කිපී මා සිර කරන්නට ද පිළිවන, එහෙත් කරන්නට දෙයක් නැත. රජු මට කරන දෙයක් කරාවා. මේවා රජුට ගෙන යාමෙන් ඔහු මට දෙතත් දෙන්නේ මේ ආත්ම භවයේ ජීවත් වීමට තරම් සුළු දෙයකි. මේ මලින් බුදුන් වහන්සේ පිදුවහොත් මට එය අනේක කල්ප කෝටීන්හි සැප ගෙන දෙන පිනක් වන්නේය. ඒ නිසා වන්නක් වේවා, මේ මල මම බුදුනට ම පුදමි” යි සිතා පළමුවෙන් මල් දෙමිටක් ගෙන තථාගතයන් වහන්සේ දෙසට විසි කළේය. ඒ මල් එකකුදු බිම නො වැටී තථාගතයන් වහන්සේ මතුයෙහි අහස් හි වියනක් මෙන් සැදී සිටියේය. එය දැක අතිශයින් පහන් වූ සුමන තවත් මල් දෙමිටක් ගෙන බුදුරදුන් දෙසට විසි කළේය. ඒ මල් බුදුරදුන් දකුණු පසින් තිරයක් මෙන් සෑදී අහස්හි සිටියේය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේ පිටිපසින් තිරයක් සේ සෑදී සිටියේය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේගේ වම් පසින් තිරයක් සේ සෑදී සිට ගත්තේය. බුදුරජාණන් වහන්සේ රිදීපටින් වසන ලද්දකු සේ ඉදිරියට වැඩම කළහ. මල් ද එකකුදු නොවැටී තථාගතයන් වහන්සේ අනුව ගියේය. තථාගත ශරීරයෙන් නික්ම උන්වහන්සේ වටා තුන්යලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරැස් දහරාවන් නිසා ඒ මල් වඩාත් ශෝභාවත් විය. ඒ ප්‍රාතිහාර්ය දැක සතුටට පත් ජනයා ඔල්වරසන් නගමින් සළු උඩ දමමින් සළු හිස වට කරකවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගමන් ගත්හ. තථාගතයන් වහන්සේ ද මල්කරුගේ ගුණය ප්‍රසිද්ධ වනු පිණිස නගරයේ ප්‍රධාන මාර්ගයේම ගමන් කළහ. මල් කරුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය. ඔහු මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට මනෝසිලා රසයෙහි ගැලෙන්නාක් මෙන් බුදුරැස් තුළට වැද උන්වහන්සේට ස්තුති කොට වැඳ හිස් පැස ගෙන ගෙදර ගියේය.

ඔහු හිස් පැස ගෙන ගෙදර ගිය කල්හි භාර්යාව “මල් වලට කුමක් කළෙහිදැ” යි ඇසීය. “තථාගතයන් වහන්සේට පිදුවෙමි” යි මල්කරු කීය. “දැන් රජුට කුමක් කරන්නෙහිදැ” යි භාර්යාව ඇසූ කල්හි “රජු මට කරන දඬුවමක් කෙරේවා යි ජීවිත පරිත්‍යාග කොට මම මල් පිදුවෙමි” යි කියා සිදු වූ සියළු ප්‍රාතිහාර්යද ඇයට කීය. අනුවණ ගැහැණියට ඒ ප්‍රාතිහාර්ය ගැන සිත පහදා ගත නො හැකි විය. ඈ බිය වී සැමියාටද බැණ වැදී “රජවරු නපුරෝ ය. කිපුණු කල්හි අත්පා සිඳවීම් ආදී මහානර්ථ කරන්නාහ. නුඹ කළ දෙයින් මට ද විපත් සිදුවිය හැකිය” යි කියා දරුවන් ද ගෙන රජු වෙත ගොස් “දේවයන් වහන්ස, මගේ සැමියා නුඹ වහන්සේට ගෙනෙන මල් බුදුරදුන් පුදා හිස් පැස ගෙන ගෙදර ආයේය. මා විසින් මල් වලට කුමක් කළෙහිදැ යි ඇසු කල්හි ඒ බව මට කීයේය. ඔහු කළ වරදින් මටත් විපතක් වේදෝ යි මම ඔහු හැර දරුවන් ද ගෙන නුඹ වහන්සේ වෙත පැමිණියෙමි. දේවයන් වහන්ස, ඔහු කළ දෙය යහපතක් ද, නපුරක් ද කියා මම නොදනිමි. එය කුමක් වුවත් එය ගැන මගේ සම්බන්ධයක් නැත. මම ඔහු අත්හැර දැමීමි” යි කීවාය. රජතුමා බුදුරදුන්ගේ ප්‍රථම දර්ශනයේදීම සෝවාන් ඵලයට පැමිණි ආර්ය ශ්‍රාවකයෙකි. එතුමා අනුවණ ගැහැණියට මෙතරම් මහත් ප්‍රාතිහාර්යයකදී ද සිත පහදා ගත හැකි නොවී යයි සිතා, කිපුණු ආකාරයක් දක්වා “කිමෙක්ද මට ගෙනා මල් තිගේ සැමියා බුදුනට පිදුවේ දැ” යි ඇසීය. “එසේය, දේවයන් වහන්ස” යි පිළිතුරු දුන්නීය. එකල්හි රජතුමා “ඒ මිනිසා හැර දැමීමන් තී කළ දෙය ඉතා යහපති. මාගේ මල් පූජා කළහුට කළ යුත්ත මම දනිමි” යි කියා ඇය පිටත් කර හැර වහා ගොස් ඒ ප්‍රාතිහාර්යය නරඹමින් තථාගතයන් වහන්සේ සමග ම ගමන් කළේය. ශාස්තෘන් වහන්සේ රජුගේ ප්‍රසාදය දැක අණබෙර හසුරුවන වීථියෙහි ම ගමන් කොට රජගෙදර සමීපයට පැමිණි සේක. රජතුමා පාත්‍රය ගෙන තථාගතයන් වහන්සේ රජමැදුරට වඩමවා ගන්නට සිතුවේය. තථාගතයන් වහන්සේ රජ මිදුලෙහිම වැඩ හිඳිනු කැමති ආකාරය දැක්වූහ. රජතුමා ලෝකනාථයන් වහන්සේ ගේ අදහස දැන වහ වහා එහි මණ්ඩපයක් කරවීය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා එහි වැඩහුන් සේක. තථාගතයන් වහන්සේ රජගෙට නො වැඩ එළිමහනෙහිම වැඩ සිටියේ මල්කරුගේ ගුණය මහජනයා අතර වඩාත් ප්‍රකට වනු පිණිස ය. රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන් දිණ. තථාගතයන් වහන්සේ වළඳා අවසානයේ අනුමෙවෙනි බණ වදාරා පළමු පරිදි ම මල් වියන් මල් තිර තිබියදී ම මහ පෙරහරින් මහජනයා සමඟ ම වෙහෙරට වැඩම කළ සේක. උන්වහන්සේ ගඳ කිළියට පිවිසෙන කල්හි ඒ මල් ගඳකිළිය දොරකඩ වැටිණ.

රජතුමා මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට නැවතී මල්කරුවා ගෙන්වා “නුඹ මට ගෙනෙන මල් කුමක් සිතා බුදුනට පිදුවෙහිදැ” යි ඇසීය. “එකෙණෙහි මට ඇති වූ බලවත් චිත්තප්‍රසාදය නිසා රජ්ජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා රටින් නෙරපතොත් නෙරපත්වා යි ජීවිතය පරිත්‍යාග කොට ඒ මල් පිදුවෙමි” යි මල්කරු කීය. රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදී “නුඹ මහා පුරුෂයෙකැ” යි ඔහුට පසසා ඇතුන් අටදෙනෙකුන් ද, අසුන් අටදෙනෙකුන් ද, දාශයන් අටදෙනෙකුන් ද, දාශියන් අටදෙනෙකුන් ද, මහාර්ඝ පළඳනා ද, කහවනු අටදහසක් ද, සර්වාලංකාරයෙන් සැරසූ කාන්තාවන් අට දෙනෙකුන් ද, ගම් අටක් ද යන මේ සියල්ල ඔහුට ප්‍රදානය කළේය. සියල්ලෙන් අට බැගින් ඇති බැවින් සර්වාෂ්ටක නම් වූ ඒ පරිත්‍යාගය මල්කරු ඒ පූජාවෙන් එදින ම ලැබූ අනුසස ය.

ආනන්ද ස්ථවිරයන් වහන්සේ “සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදෑසන පටන්ම මහා ප්‍රීති ඝෝෂාවක් පවත්නේ ය. ඔහුට ඉන් ලැබෙන්නාවූ විපාකය කුමක් දෝයි තථාගතයන් වහන්සේගෙන් අසමි.” යි සිතා උන්වහන්සේ වෙත එළඹ “මල්කරුට ඒ පූජාවෙන් වන විපාක කවරේද” යි ඇසූහ. “ආනන්දය, මේ මල්කරු විසින් කරන ලද්ද සුළු කොට නො සිතව. හෙතෙමේ මා හට දිවි පුදා ඒ පූජාව කළේය. හෙතෙමේ මා කෙරෙහි ඇති කරගත් ඒ චිත්තප්‍රසාදයෙන් කල්ප ලක්ෂයක් දුර්ගතියකට නො පැමිණෙත්ය. එතෙක් කල් ඔහු දෙව් මිනිස් සැප විඳ අන්තිමේදී සුමන නම් පසේ බුදු වන්නේය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

(මේ කථාව දම්පියා අටුවාවෙන් ගන්නා ලදී)

නාගවිමාන වස්තුව

මේ මහා භද්‍රකල්පයෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළ වී වදාළා වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටවා එකල විසූ සැදැහැවත්හු යොදුනක් උසැති ස්වර්ණ චෛත්‍යයක් කරවූහ. ඒ චෛත්‍යයය පිරිවර සහිත කිකී රජතුමා හා නුවර වැස්සෝ ද, දනව් වැස්සෝ ද දිනපතා බොහෝ මල් ගෙන ගොස් පුදන්නාහ. එබැවින් මල් දුර්ලභ විය. එක් දවසක් උපාසකයෙක් මල් සොයනු පිණිස මාලාකාර වීථියේ ඇවිද එක් කහවණුවකට එක බැගිනි දු මල් සොයා ගත නොහී කහවණු අටක් ද රැගෙන මල් වත්තකට ගියේය. ඔහු එහි ගොස් “මේ කහවණු අටට මල් අටක් හෝ දෙව” යි කීය. “මල් සියල්ල නෙලා දී දැන් අවසන්ය.” යි මල්කරු කීය. උපාසක තෙමේ “මල් ඉතිරි වී ඇත්නම් මම සොයා ගන්නෙමි” යි කීය. “එසේ නම් උයනෙහි ඇවිද සොයා ගන්න” යයි මල්කරු කීය. උපාසක උයනට පිවිස ඇවිදිනුයේ බිම වැටී තිබූ මල් අටක් ලැබ ඒවා මල්කරු වෙත ගෙනැවිත් දක්වා ඔහුට කහවණු අට ගන්නට කීය. “මේ මල් ලැබී ඇත්තේ ඔබ පිනෙන් ය. ඒනිසා මේවාට මම මුදලක් නො ගනිමි” යි මල්කරු කීය. “මම නොමිලයේ මල් ගෙන භාග්‍යවතුන් වහන්සේට නො පුදමි” යි කියා කහවණු අට ඔහු ඉදිරියේ තබා මල් ගෙන චෛත්‍ය කරා ගොස් පහන් සිතින් පිදුවේය. උපාසක ඒ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන, තුන්කෝටි සැටලක්ෂයක් අවුරුදු ආයුෂය ගෙවී ගිය පසු ඔහු චුතව නැවත එහිම උපන්නේ ය. මෙසේ නැවත නැවත දෙව්ලොවම උපන් ඔහු අප බුදුන් සමයෙහි ද එහිම විසුවේය.

දිනක් මුගලන් මහ තෙරුන් වහන්සේ දෙව්ලොව චාරිකාවෙහි හැසිරෙන සේක්. මහත් වූ ශ්වේතහස්තිරාජයකු පිට නැගී අප්සරා සමූහයා විසින් පිරිවරන ලදුව පුන්සඳ මෙන්, හිරුමෙන්, දිසාවන් ආලෝක කෙරෙමින් මහත් වූ දිව්‍යානුභාවයෙන් අහස් හි ගමන් කරන ඒ දෙවියා දැක ඔහු වෙත වැඩම කළහ. දෙව්පුත් තෙරුන් වහන්සේ දැක ඇතු පිටින් බැස උන්වහන්සේට වැඳ සිටියේ ය. එකල්හි තෙරුන් වහන්සේ ඔහු අමතා “තොප මේ මහා සම්පත්තිය ලදුයේ අතීතයෙහි කළ කිණම් කුශලයෙකින් දැ” යි විචාළ සේක. එකල්හි දෙව්පුත්

අට්ඨෙව මුත්ත පුප්ඵානි කස්සපස්ස මහෙසිනො,

ථූපස්මිං අභිරොපෙසිං පසන්නො සෙහි පාණිහි,

තෙන මෙ තාදිසො වණ්ණෝ තෙන මෙ ඉධ මිජ්ඣති

උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

“හිමියනි, මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට නටුවෙන් ගිලිහී වැටුණ මල් අටක් පහන් සිතින් සියතින් පිදුවෙමි. මාගේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒ පිනෙන් ඇතිවූවකි. සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍ය භෝජනාදී වස්තුහු මට ඒ පිනෙන් පහළ වන්නාහ” යි කීය.

(විමානවත්ථු අටුවාවෙන්)

මෙකල මල් පුදනුවන් විසින් සිතට ගත යුතු වැදගත් කරුණක් ඉහත දැක්වූ කථාවෙහි ඇත්තේ ය. එනම් උපාසක තැන විසින් මල් නොමිලයේ නො ගැනීමය. පූජාව දානයටම අයත් පිනකි. දානය තේරුම් කර ඇත්තේ “අත්තුපකරණ පරිච්චාග චේතනාව” කියා ය. එනම් තමාට සම්පූර්ණයෙන් අයිතිය ඇති වස්තුවක් අනුග්‍රහ වශයෙන් හෝ පූජා වශයෙන් අනිකකුට පිරිනැමීම ය. මිලක් දෙන්නේ නැතිව නිකම්ම අනුන්ගෙන් දෙයක් ගෙන තවත් කෙනෙකුට දීම හෝ පිදීම වැදගත් දීමක් හෝ පිදීමක් නො වේ. වැදගත් වන්නේ තමා වෙහෙසී සපයා ගත්ත වූ හෝ මිලයට ගත්තා වූ හෝ දෙයක් දීම හා පිදීම ය. උපාසක තැන මල් නොමිලයේ නොගත්තෙ එසේ ගන්නා ලද්දක් පිදීමේ වැදගත් කමක් නැති බැවිනි. මෙකල බොහෝ දෙනා තමන් මහන්සි වී මල් සැපයීමක් හෝ මිලයට ගැනීමක් හෝ නොකොට අනුන් ගෙනෙන මල්වලින් ටිකක් ගෙන පුදන්නට බලාපොරොත්තු වෙති. එසේ කරන පූජාවල වැදගත් කමක් වටිනාකමක් නැති බව සැලකිය යුතුය.

පූජාවක් කිරීමට තමා අයත් දෙයක් තිබිය යුතුය. කෙනෙකුගේ දෙයක් තවත් කෙනෙකු විසින් පූජා නො කළ හැකි ය. පූජා කෙළේ ද එය පූජාවක් නො වේ. කෙනෙකු විසින් මල් පහන් ගිලන් පස ආදී පූජාද්‍රව්‍ය පිළියෙල කොට පූජාසනය මත තබා පූජා කිරීමට ගාථා කියන කල්හි තවත් බොහෝ දෙනා එකතුව පූජා කිරීමේ ගාථා කියති. එහෙත් ඔවුන් විසින් පූජා කරන ඔවුනට අයිති කිසිම වස්තුවක් එහි නැත. පූජා කරන වස්තුවක් නැතිව එසේ ගාථා කීම තේරුමක් නැති වැඩක් බව ද සැලකිය යුතුය. පූජා කිරීමේ තේරුම නො දත් බැවින් ඇතැම්හු අනුන් මල් ගෙනවුත් අසුන මත තබා පුදන කල්හි එකතු වී ගාථාව කියුවහොත් තමන් පූජාවක් කළා වෙතියි සිතති. මේ කරුණු තේරුම් ගෙන පින් සිදුවන සැටියට මල් පහන් ආදිය පුදත්වා.

සුළුගුළු උපාසක

සුළුගුළු උපාසක යනු සිංහල බෞද්ධයන් අතර ප්‍රසිද්ධ නමෙකි. ඒ නම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුළුගුළු උපාසකතුමාට මලිය මහාදේව නම් වූ රහතන් වහන්සේගේ ආරාධනයෙන් පණ තිබියදී ම තව්තිසා දෙව් ලොවට යන්නට ලැබීම නිසා ය. දෙව්ලොවදී ඔහුට නානාප්‍රකාර සම්පත් ඇති බොහෝ දෙවියන් ඇසින් ම දැක ගත හැකි විය. උපාසක තුමා සිළුමිණි සෑය සමීපයෙහි සිටි කල්හි රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්තශෛන්ධවයන් යෙදූ ප්‍රවාල රථයකින් එක් දෙවියෙක් එහි ආවේය. ඔහුට රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසුණු සුරංගනාවෝ රත් චාමර ගෙන පවන් සලති. එසේම සැරසුණු තවත් බොහෝ දෙව්ලියෝ ඔහු සතුටු කරවනු වස් ඔහු ඉදිරියේ සුමිහිරි ගී ගයති. තූර්යයන් වාදනය කෙරෙති. නටති. රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්තවර්ණ ඡත්‍රධ්වජපතාකාවන් ගෙන බොහෝ දෙවියෝ ඔහු පිරිවරා ගමන් කරති. එසේ මහත් වූ දේවානුභාවයෙන් මහත් වූ ඓශ්වර්යයෙන් හැසිරෙන ඒ දෙවියා දැක උපාසක තෙමේ “හිමියනි, මෙබඳු සම්පත්තියක් ඇතියකු මීට පෙර මා කිසි දිනක දැක නැත. මේ සම්පත්තිය මොහුට ලැබී ඇත්තේ කිනම් පිනකින්දැ” යි ඇසීය.

එකල්හි තෙරුන් වහන්සේ කියන්නාහු “උපාසකය, මොහු පෙර ජාතියේ චේතිය විහාරය සමීපයේ ගමක ගොපලු දරුවෙකි. ඔහු එක් දිනෙක අනික් ගොපලු දරුවන් හා ගවයන් ගෙන දැදුරු ඔය වෙත ගොස් ගව සමූහයට තණ කන්නට හැර තෙමේ වැලිතළාවක ක්‍රීඩා කරන්නේ වැලි එකතු කොට සෑයක් තනා රත්මල් වනයට පිවිස බොහෝ මල් නෙලා ගෙනවුත් එහි පුදා මල් නො වියළෙනු පිණිස පැන් ඉස හිරුරැස් වළකණු පිණිස අතු කඩා ගෙනවුත් ආවරණයක් කොට සිත පහදා ගෙන සවස ගවයන් ගෙන නිවසට ගියේය. අදින රාත්‍රියේ හට ගත්තාවූ ආබාධයකින් කළුරිය කළ ඔහු මෙහි උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තිය ය” යි වදාළ සේක. එය අසා උපාසක තෙමේ මහත් සොම්නසට පැමිණියේය.

මල්, ජනයන්ගේ නෙත් සිත් පිනවන ශෝභාවක් හා සුගන්ධයක් ද ඇත්තාවූ ජනප්‍රිය දෙයකි. එය පිදීමේ පිනෙන් විශේෂයෙන් උපනුපන් ජාතිවලදී රූප ශෝභාව ඇති වේ. ස්වර්ණතිලකාවට පුරුෂයන් වශී වන, උමතු වන රූප ශෝභාවක් ඇති වූයේ මල් පූජාවෙනි. උපනුපන් තැන බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයෙකු වීමට ද මල් පූජාව විශේෂයෙන් හේතු වේ.

පහන් පූජාවේ අනුසස්

“දීපදෝ හොති චක්ඛුදො” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණෙකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින්කමෙකි. සෑම පිනකින් ම දෙව්මිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම්වලින් විශේෂයෙන් ලැබෙන අනුසස් ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකි. උපනුපන් තැන හොඳ ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමට ද මෙය විශේෂ පින්කමෙකි.

අප බුදුසස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේදී ධනවත් මනුෂ්‍යයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍ර ද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහා සංඝයා වහන්සේ වෙත එළඹ “දිවැස් ලැබීමට කළ යුත්තේ කිමදැ” යි ඇසීය. “උපාසකය, එය සඳහා ප්‍රදීපදානය දෙන්නට වටනේය” යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැ යි ගිවිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත් යොදුන් ස්වර්ණ චෛත්‍යය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක් කරවීය. ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගණන් පහන් ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කළේය. ඉන් කල්ප ලක්ෂයකට පසු නැවත ද හෙතෙමේ කාශ්‍යප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින් ද තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශ්‍යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛත්‍යය වටා තබා විශාල රන්තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්‍යය වටා සර්ව රාත්‍රියේ ම ඇවිදිමින් මහා පහන් පූජාවක් කළේය.

පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ

කල්ප ලක්ෂ්‍යයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතී නගරයේ ආරාමයෙන් ආරාමය වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේ පෝය දිනයක එක් බෝධි වෘක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයේ හිඳගත්තාය. ඕ ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝ රුකට වැඳගෙන මහත් සොම්නසින් “ඉදින් බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක් නම්, අසම අප්‍රතිපුද්ගල වූ සේක් නම් මේ බෝධීන් වහන්සේ ප්‍රාතිහාර්යයක් දක්වන සේක්වා. මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වා” යි සිතුවාය. එකෙණෙහි බෝ රුක දිලිසිණ. සියලු බෝ රුක ස්වර්ණ වර්ණ විය. සෑම තැනම ආලෝකය පැතිරිණ. ඒ ප්‍රාතිහාර්යයෙන් අතිශයින් සොම්නසට පත් ඕ තොමෝ සතියක්ම බෝරුක මිල විසුවාය. සත්වන දින රාත්‍රියෙහි පූජාසනය මත පහන් දහසක් දැල්වූවා ය. ඒ පහන් පසු දින ඉර උදාවන තෙක්ම දැල්විණ.

පසු කාලයේ ඕ කලුරිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඈට එහි සැටයොදුනක් උස තිස් යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගණනක් නැති පහන් දැල්වෙන්නේ ය. ඇයට දක්නට කැමති උඩ යට සරස ඇති සියල්ල ඇසට පෙනෙන්නේ ය. ගස්වලින් පර්වතවලින් ඇයට ආවරණයක් නොවන්නේ ය. ඒ පිනෙන් ම ඕ අසූවරක දෙව්‍රදුන්ගේ බිසව වූවාය. සියවරක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑමතැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. ඕ මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විඳ අන්තිම ජාතියේ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වියෙහි ම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් අවුරුදු වියෙහිම ඕ උපසම්පදාව ද ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්විණ.

සතසහස්සිතො කප්පෙ යං දීපමදදිං තදා,

දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.

මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්‍රකාශනයකි. මෙයින් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලයේ මම යම් ප්‍රදීප දානයක් දුන්නෙම් ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියකට නො පැමිණියෙමි. මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යනු එහි තේරුම ය.

(අපදාන පාළියෙන්)

සුවඳ පූජාවේ අනුසස්

දුමක් වශයෙන් ද, වතුරක් තෙලක් කල්කයක් චූර්ණයක් වශයෙන් ද, සුවඳ පූජා කළ හැකි ය. සඳුන් කපුරු මල් ආදී සුවඳ ඇති ද්‍රව්‍යයන් ද සුගන්ධ පූජාවක් වශයෙන් පිදිය හැකිය. සුවඳ පූජාවෙහි විශේෂ ආනිසංසයක් වශයෙන් කිය යුත්තේ උපනුපන් ජාතියේ අන්‍යනයන්ට ප්‍රිය පුද්ගලයෙකු වීමය.

සිද්ධාර්ථ නම් බුදුරදුන් විසූ කුටියට සුවඳදුම් දුන් පින්වතෙක් ඒ පිනෙන් කල්ප අනූසතරක් දෙව්මිනිස් දෙගතියෙහි බොහෝ සැප ලබා අප බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයේ මිනිස් ලොව ඉපිද බුදුසස්නෙහි පැවිදිව සිව්පිළිසිඹියාපත් මහරහත් නමක් වී සසර දුකින් මිදී නිර්වාණ පුරයට පැමිණි උන්වහන්සේ ධූපදායකස්ථවිර නම් වූහ.

“යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං,

සබ්බේසම්පි පියො හොමි ධූපදානස්සිදං ඵලං

-

චතුනවුතිතො කප්පෙ යං ධූපමදදිං තදා,

දුග්ගතිං නාභිජානාමි ධූපදානස්සිදං ඵලං”

මේ ධුපදායක රහතන් වහන්සේ ගේ ප්‍රකාශයකි. මම යම්යම් ජාතියක උපන්නෙම් ද දෙවි වූද මිනිස් වූ ද සෑම ජාතියේ ම සැමටම ප්‍රිය වූවෙමි. එය ධූපදානයේ ඵලය ය. මේ කපින් සිව් අනූවන කපෙහි යම් ධූපදානයක් කලෙම් ද එතැන් පටන් මේ වන තෙක් දුර්ගතියට නො ගියෙමි. මේ ධූපදානයේ ඵලය ය යනු එහි තේරුම ය.

පැන් පිදීමේ අනුසස්

මෙයින් අනූඑක්වන කපෙහි බන්දුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවාය. එකල එහි බුදුරදුන් ඇත ද මහ සඟන ඇත ද දිළිඳු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නො තිබිණ. එබැවින් ඕ පහන් සිතින් විහාරයෙහි පැන් තැබීම කළාය. ඕ තොමෝ මරණින් මතු ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවඟනන්ට ප්‍රධානව උපන්නාය. ඕ ආයුෂයෙන් ද රූපශෝභාවෙන් ද සැපයෙන් ද පිරිවරින් ද ආධිපත්‍යයෙන් ද රූපයෙන් ද ශබ්ධයෙන් ද ගන්ධයෙන් ද රසයෙන් ද ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්ම සිටියා ය. සසර සැරිසරන්නාවූ ඕ ඒ පිනෙන් පනස් වරෙක දෙව්රජුන්ගේ මෙහෙසිය වූවාය. විසිවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනූ එක් කපක් මුළුල්ලෙහි දේවමනුෂ්‍ය දෙගතිය හැර අන් ගතියකට නො ගියාය. අහසෙහි වුව ද කඳු මුදුනකදී වුව ද පැන් වුවමනා වෙතහොත් ඇයට සැණෙකින් පැන් ලැබෙන්නේ ය. ඇගේ ශරීරයට කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නො වීය. ඕ මෙසේ දීර්ඝ කාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසස්නෙහි උදක දායිකා ථෙරි යන නමින් ප්‍රසිද්ධ වූවා ය.

එකනවුතිතො කප්පො යං දකං අදදිං තදා

දුග්ගතිං නාභිජානාමි දකදානස්සිදං ඵලං

මේ ඒ ස්ථවිරියගේ ප්‍රකාශනයෙකි.

මෙයින් එක් අනූවන කපෙහි යම් ජලය දීමක් කළෙම්ද ඒ හේතුවෙන් මේ වන තෙක් කිසිවිටෙක දුර්ගතියට නො පැමිණියෙමි. මෙය උදක දානයේ ඵලය ය යනු එහි තේරුම යි.

(ආපදාන පාළියෙන්)

පැන් පූජා කළ දාශියක්

එක් සමයෙක් හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ බික් සඟන හා කොසොල් රට සැරිසරන සේක් ථුන නම් බමුණු ගම වෙත වැඩම කළ සේක. “ශ්‍රමණ ගෞතමයෝ ඔවුන්ගේ ගම සමීපයට පැමිණියහ.” යන පුවත එහි වෙසෙන බමුණන් අතර පැතිර ගියේය. එහි වෙසෙන බ්‍රාහ්මණයෝ මිථ්‍යා දෘෂ්ටිකයෝ ය. මසුරෝ ය. බුදුරදුන් කෙරෙහි අප්‍රසන්නයෝ ය. ඔවූහු “ශ්‍රමණ ගෞතමයන් අප ගමට පැමිණ ඔවුන්ගේ දහම මෙහි පැතිර වුවහොත් මේ ජන සමූහයා ඔවුන්ගේ කීම පිළිගන්නෝ ය. ඉන්පසු අපගේ බ්‍රාහ්මණ ධර්මයට මෙහි තැනක් නැති වන්නේ ය.” යි බිය වී බුදුරදුන් ගමට ඇතුළු විය නොහෙනු පිණිස තැන තැන ගං ඉවුරෙහි තිබූ යාත්‍රාවන් ඉවත් කරවූහ. ඒදඬු බිඳ දැමූහ. පැන්හල් නැති කළහ. වාසය කළ හැකි ශාලා නැති කළහ. එක් ළිඳක් ඉතිරි කොට අන් සියළු ළිං වසා දැමූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ විප්‍රකාරය දැක අහස් ගමනින් ගඟින් එතෙරව ක්‍රමයෙන් බමුණු ගමට වැඩ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක සෙවණෙහි බික්සඟන පිරිවරා වැඩහුන් සේක.

පැන් ගෙන යන්නාවූ බොහෝ ස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් එමඟින් පැන් ගෙන ගියෝය. කලින් එගම බ්‍රාහ්මණයන් ශ්‍රමණ ගෞතමයන් එන කල්හි කිසිවකු පෙර ගමන් කිරීම් ආදියෙන් ඔවුනට කිසිඳු සැලකිල්ලක් නො දැක්වූහ. ඔවුන් අතුරෙන් එක් බ්‍රාහ්මණයෙකුගේ දාශියක් පැන් කළයක් ගෙන යන්නී භාග්‍යවතුන් වහන්සේ පිරිවරා වැඩ සිටින බොහෝ භික්ෂූන් ගමන් විඩාවෙන් පිපාසිතව සිටිනා බව පෙනී “ශ්‍රමණ ගෞතමයනට හෝ ඔවුන්ගේ ශ්‍රාවකයන්ට සැලකිලි නො කිරීමට ගමෙහි බමුණෝ කතිකා කරගෙන සිටින්නාහ. එහෙත් මෙබඳ පුණ්‍යක්ෂේත්‍රයක් ලැබ පැන් ටිකක්වත් පිළිගන්වා පිනක් කර නො ගතහොත් කවදා මම මේ දුඃඛ ජීවිකාවෙන් මිදෙන්නෙම්දැ” යි සිතා “මාගේ ස්වාමියා හා ගම් වැසියෝ මට කරන දඬුවමක් කෙරෙත්වා. මම මේ පුණ්‍යක්ෂේත්‍රයෙහි පානීය දානයක් දෙමි” ය යි අන්‍ය ස්ත්‍රීන් විසින් වළක්වත්දී ම ජීවිතාපේක්ෂාව හැර හිස තැබූ පැන් කළය ගෙන බිම තබා තථාගතයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ පැන් පිළිගන්නා සේ යාඥාකළාය.

එකල්හි තථාගතයන් වහන්සේ ඇයට අනුග්‍රහ පිණිස පැන් පෙරහා අත්පා සිසිල් කොට පැන් බීම ද කළ සේක. කළයෙහි පැන් මඳකුදු අඩු නො වීය. ඕ තොමෝ ඒ ප්‍රාතිහාර්යය දැක ඉමහත් ප්‍රීතියට පැමිණ භික්ෂුවකට ද පැන් පිළිගැන්වූවාය. ඒ භික්ෂුව ද පැන් පෙරහා ගෙන අත්පා සිසිල් කර පානය ද කළේය. කළයේ පැන් තිබූ පරිදි ම පිරී තිබිණ. ඈ එසේ සියළුම භික්ෂූන්ට පැන් පිළිගැන්වූවාය. පැන් කළය පළමු සේම පිරී තිබිණ. ඕ තොමෝ අතිශය ප්‍රීතියෙන් පැන් කළය හිස තබා නිවස බලා ගියාය. තමාගේ දාශිය බුදුරදුන් ඇතුළු මහ සඟනට පැන් පිළිගැන්වූ බව ඇසූ බ්‍රාහ්මණයා “මෑ ගම්වැසියන්ගේ කතිකාව බිඳ මටද අවනම්බු කළාය” යි කිපී බිම පෙරළා ඇයට අතින් පයින් පහර දිණ. බමුණාගේ ප්‍රහාරයෙන් දාසිය මියගොස් පැන් පූජා කිරීමේ පින් බලයෙන් තව්තිසා දෙව්ලොව උපන්නාය. ඇයට එහි කල්පවෘක්ෂයක් සහිත අත්‍යාලංකාර විමානයක් එහි පහළ විය. විමන වටා රිදීවන් වැලිතලා ඇති නිල්මැණික් කඳක් බඳු ජලය ගලා යන රමණීය ගංගාවක් පහළ විය. විමානය ඉදිරිපස පඤ්චවර්ණ පද්ම සමූහයන් ඇති මහා පොකුණක් පහළ විය. එහි ස්වර්ණ නෞකාවක් ද පහළ විය. ඕ එහි දිව්‍ය සම්පත් විඳිමින් විසුවාය.

තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා “ආනන්දය ළිඳට ගොස් මා හට පැන් ගෙන එව” යි වදාළ සේක. “ස්වාමිනි, මෙගම බමුණන් ළිඳ දූෂණය කොට ඇත්තේය. එබැවින් පැන් නො ගත හැකිය” යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ සැළ කළහ. දෙවනුව ද තුන්වෙනුව ද තථාගතයන් වහන්සේ පැන් ගෙන එන්නට වදාළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගෙන ළිඳ කරා ගියහ. උන්වහන්සේ ගිය කල්හි පැනින් පිරී ළිඳ උතුරා යන්නට විය. ළිඳෙහි වූ වීපොතු පිදුරු ආදී සියල්ල පාවී ගොස් ජලය පිරිසිදු විය. එයින් ගලායන ජලයෙන් ගමෙහි පහත් තැන් යට වන්නට විය. ඒ ප්‍රාතිහාර්ය දුටු බමුණෝ මුළු ගමම ජලයෙන් යට වී යනු ඇතැයි බිය වී තථාගතයන් වහන්සේගේ ම පිහිට සොයා උන්වහන්සේ වෙත වහා අවුත් ක්ෂමා කරවා ගත්හ. එකෙණෙහි ජලය අතුරුදහන් විය. ඔවූහු භාග්‍යවතුන් වහන්සේට හා සංඝයාට වාසස්ථාන පිළියෙල කර දී පසු දින දානයට ද ආරාධනා කළහ. පසුදින බුදුරදුන් ඇතුළු සඟනට දන් දී ඔවූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ හිඳ ගත්හ.

එකෙණෙහි දෙවඟනද තමාගේ සම්පත්තිය බලා ඉමහත් සොම්නසට පැමිණ ඒ මහත් වූ සම්පත්තිය ලැබීමේ හේතුව විමසන්නී ඒ පැන් දීමේ පින බව දැන මහත් සතුටට පැමිණ “දැන් ම මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ වඳිමි. මනාකොට පිළිපන්නවුන්ට කරන ස්වල්ප වූ සත්කාරයෙන් මහත් සම්පත් ලැබෙන බවට මිනිස් ලොවට ප්‍රකාශ ද කරන්නෙමි” යි අප්සරා දහස හා විමානයත් සමග තථාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට වැන්දාය. තථාගතයන් වහන්සේ ඇගෙන් ම ප්‍රශ්න කර මහජනයාට ඇය හඳුන්වා දී ධර්ම දේශනා කළ සේක. දෙවඟන දහම් අසා සෝවාන් ඵලයට පැමිණියාය. පැමිණි පිරිසට ද ධර්ම දේශනාව සාර්ථක විය. (විමාන වස්තුවෙන් ගන්නා ලදී. එහි නාවාවිමාන නමින් මෙය දැක්වේ)

ගිලන්පස පූජාවේ අනුසස්

අම්බපානාදී අෂ්ටපානත්, ඒවාට සමාන වන දෙහි දොඩම් ආදියෙන් කරන පාන වර්ගත්, වෙඬරු ගිතෙල් සීනි සූකිරි සීනි බෝල පැණි සකුරු මී පැණි තලතෙල් යන මේවාත් සියළුම බෙහෙත් වර්ගත් ගිලන්පස වශයෙන් පිදිය හැකිය.

අම්බපාන-ජම්බුපාන -චෝචපාන - මෝචපාන - මධුපාන - මුද්දිකපාන - සාලුකපාන - ඵාරුස්කපාන යන මේ අට අෂ්ටපාන නම් වේ. මේ පාන වර්ග සෑදිය යුත්තේ ඇල්දියෙනි. තම්බා සෑදුවහොත් විකාලයෙහි කැප නොවේ. ඇතැම් සැදැහැවත්හු අෂ්ටපානය ම සාදා පූජා කෙරෙති. අඹ, ජම්බු, අටිකෙසෙල්, ඇටනැතිකෙසෙල්, අමු මුද්‍රප්පලම්, වියලි මුද්‍රප්පලම්, ඕලුගෙඩි, කටුගෙඩි යන මේවායින් අෂ්ටපානය සාදනු ලැබේ.

පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ විසින් තමන් වහන්සේ ගිලන් පස පිදීමෙන් අනුසස් දශයක් ලැබූ බව මෙසේ ප්‍රකාශ කොට ඇත්තේ ය.

භෙසජ්ජං සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

දසානිසංසෙ අනුහොමි කම්මානුච්ඡවිකෙ මම,

-

ආයුවා බලවා ධීරො වණ්ණවා යසවා සුඛී,

අනුපද්දවො අනීති ච හොමි අපචිතො සදා

න මෙ පියවියොගො'ත්ථි තස්ස නිස්සන්දතො මම

(අපදාන පාළි)

ආනිසංස දශය නම් ආයුෂය, ශරීර ශක්තිය, නුවණ, ශරීරයේ යහපත් පැහැය, පිරිවර, සැපය, උපද්‍රව නැති බව, ගොවිතැන් පාළු වීම් ආදී ව්‍යසන නැති බව, ගරු බුහුමන් ලැබීම, ප්‍රියයන්ගෙන් වෙන් නො වීම යන මේවා ය.

බුද්ධවර්ම මුදලාලි

දඹදිව පාටලීපුත්‍ර නගරයෙහි බුද්ධවර්ම නමැති වෙළෙන්දෙක් විය. ගැල්වල බඩු පටවාගෙන වෙළඳාමෙහි ඇවිදින්නා වූ ඔහුට එක් වරෙක භික්ෂු සංඝයා පිරිවරා සත්ත්වයනට සඟමොක් මඟ පහදා දෙමින් සත්ත්වයන් සසර කතරින් එතෙර කරවමින් දනව් සැරිසරන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමු වූහ. ඔහු දිලිසෙන රන් පහන් ගසක් සේ බබළමින් බික්සඟන පිරිවරා හැසිරෙන තථාගතයන් වහන්සේ දැක ඉමහත් ප්‍රීතියට පැමිණ උන්වහන්සේ වෙත එළඹ වැඳ බුදුවරුන්ගේ සිරිත් නො දන්නා බැවින් සවස් කාලයේ බතින් නිමන්ත්‍රණය කළේය. “බුදුවරයෝ විකාලයෙහි ආහාර නො වළඳන්නාහ” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. වෙළඳ තෙමේ “හිමියනි! තථාගතයන් වහන්සේ විකාලයෙහි කුමක් වළඳන සේක්දැ” යි ඇසීය. ඔහුගේ පිළිවිසීම නිසා “අම්බපානය - ජම්බුපානය - චෝචපානය - මෝචපානය - ඵාරුසකපානය - මධුපානය - මුද්දිකපානය - සාළුකපානය යන මේවා විකාලයෙහි කැපවන්නේ ය” යි තථාගතයන් වහන්සේ වදාල සේක. වෙළඳ තෙමේ සකුරුවලින් යුක්ත කොට මුද්‍රික පානයක් පිළියෙල කර තථාගතයන් වහන්සේ ඇතුළු මහසඟනට පිළිගැන්වීය. එය පිළිගෙන වළඳා ඔහුට දහම් දෙසා තථාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩම කළ සේක.

වෙළඳ තෙමේ අන් වෙළඳුන් හා ඒ ඒ ජනපදයන්හි වෙළඳාමෙහි ඇවිදින්නේ මහාවත්තනිය නම් කාන්තාරයට පැමිණියේ ය. එහිදී ඔවුන් ගෙනගිය පැන් අවසන් විය. පැන් ලැබිය හැකි තැනක් කාන්තාරයෙහි නො විණ. මිනිසුන්ට හා ගවයන්ට පිපාසාව සන්සිඳවා ගැනීමට ක්‍රමයක් නැති විය. ගිලන්පස දානය දුන් වෙළෙන්දා පිපාසයෙන් එකින් එක කරත්තවල පැන් විමසමින් ඇවිද්දේය. එක් කරත්තයක මිනිස්සු ඔහු දැක කරුණාවෙන් අමතා “මේ සැළියේ පැන් ස්වල්පයක් ඇත. එය පානය කරව” යි කීහ. ඔහු එයින් ගෙන පැන් පීය. ඔහුට එහි රසය මුද්‍රික පානයේ රසය මෙන් දැනිණ. ඔහු එදා මා සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට මුද්‍රික පානය පිළිගැන්වීමේ අනුසස අද පැමිණියේ වනැයි සිතා පුදුමයට පැමිණ සැළිය විවෘත කර බැලීය. සැළිය මුද්‍රික පානයෙන් පිරී තිබිණ. ඔහු එයින් ඕජාවත් වූ රසවත් වූ මිදි පැන් බඩ පුරා බී පැන් බීමට එන ලෙස සෙස්සන්ට ද හඬ නගා කීය. සැම දෙනම පැමිණ රිසි සේ මිදි පැන් බී මහත් පුදුමයට පැමිණියෝ ය. වෙළඳ තෙමේ ඔවුනට බුදුරදුන්ගේ අනුසස් හා බුදුන් පිදීමේ අනුසස් ද වර්ණනා කළේය. ගවයන් සහිත සැමදෙන ඇති පමණ පානය කළේ ද මිදි පැන් සැළිය හිස් නො විණ. ඒ ප්‍රාතිහාර්යයෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයින් ප්‍රසන්න වූ වෙළඳ තෙමේ වෙළඳාම අවසන් වූ පසු බුදුරජාණන් වහන්සේ දැක ම සිය නිවසට යෙමි යි රජගහ නුවර වේළුවනාරාමයට ගොස් බුදුන් වහන්සේ දැක වැඳ පිළිසඳර කතා කරනුයේ ගිලන්පස දානයෙන් ලද අනුසසත් සිදුවූ ප්‍රාතිහාර්යයත් තථාගතයන් වහන්සේට සැළ කළේය. තථාගතයන් වහන්සේ ඔහුට දහම් දෙසූහ. වඩාත් පැහැදුනා වූ වෙළඳ තැන බුදුරදුන්ට ආරාධනා කර පසුදින මහාදානයක් දී සිය නිවෙස බලා පිටත් විය. ඉන්පසු ද දානාදී පින්කම් කළා වූ හෙතෙමේ මරණින් මතු දෙව්ලොව දොළොස් යොදුන් රන්විමනක උපන්නේ ය. ඒ විමනෙහි තැනින් තැන දිව්‍ය මුද්‍රික පානයෙන් පිරුණු රත්නමය භාජන පිහිටියේ ය.

(රසවාහිනියෙන්)

ආහාර පිදීමේ අනුසස්

අතීත කර්ම බලයෙන් සත්ත්වයා උපදී. පළමුවෙන් උපත ලබා දීමට මිස ඉදිරියට ඒ සත්ත්වයාගේ ජීවිතය පැවැත්වීමට කර්මය සමත් නොවේ. සත්ත්වයාගේ ජීවිතය ඉපදීමෙන් පසු ඉදිරියට කලක් පවත්නේ ආහාරයේ බලයෙනි. ආහාර නො ලද හොත් දිවිය නො පවතී. එබැවින් ජීවිතය ඉදිරියට පැවතීමට උපකාර වන ආහාර දීම ජීවිතය හෙවත් ආයුෂය දීමක් වේ. ආහාර පිදීම ආයුෂ පිදීමක් වේ. කොතරම් රූප ශෝභාව ඇතියෙකුට වුව ද ආහාර හිඟ වුව හොත් එය නැති වී විරූප වේ. රූපශෝභාව ඇතිවීමට පැවතීමට හොඳ ආහාර උවමනාය. එබැවින් රූපශෝභාව ඇතිවීමට පැවතීමට හේතු වන ආහාර දීම, පිදීම ශරීර වර්ණය දීම, පිදීමක් වේ. නිරාහාරව ක්ලාන්තව සිටින්නෙකුට අන් කුමක් ඇත ද සැපයක් නැත. සාගින්න නිවා ගැනීමට පමණක් නොව අන් ක්‍රමවලින් සැප ලැබිය හැකි වීමටත් ආහාර ලැබිය යුතුය. එබැවින් ආහාරය දීම සැපය දීමකි. ආහාරය පිදීම සැපය පිදීමකි. ආහාර නො ලැබ ගිය හොත් අනිකක් කිරීමට තබා තමාගේ ශරීරය එහා මෙහා ගෙන යාමට පමණවත් ශක්තියක් ඉතිරි නොවේ. ශක්තිය ලැබෙන්නේ ආහාරයෙනි. එබැවින් ආහාර දානය ශක්තිය දීමක් වේ. ආහාර පූජාව ශක්තිය පූජාවක් වේ. ආහාර හිඟව ලේ මස් වියළී ඉන්ද්‍රිය දුබල වුව හොත් ප්‍රඥාව නැති වේ. ප්‍රඥාව ඇති වීමටත් ආහාර ලැබිය යුතුය. එබැවින් ආහාර දානය ආහාර පූජාව ප්‍රඥා දානයක් ප්‍රඥා පූජාවක් වේ. ආයුෂය - ශරීරවර්ණය - සැපය - ශරීර ශක්තිය - ප්‍රඥාව යන කරුණු පස සත්ත්වයනට ඉතා උසස් කරුණු පසෙකි. එබැවින් ඒවා ලැබීමට හේතුවන ආහාර දානය ආහාර පූජාව උසස් දානයක් උසස් පූජාවක් වේ. එය උසස් පිනක් වේ.

“ආයුදො බලදො ධීරො වණ්ණදො පටිභාණදො,

සුඛස්ස දාතා මොධාවි සුඛං සො අධිගච්ඡති,

ආයුං දත්වා බලං වණ්ණං සුඛං ච පටිභාණකං,

දීඝායු යසවා හොති යත්ථ යත්ථුපපජ්ජති.

(අංගුත්තර පංචක නිපාත)

“ආයුෂය දෙන්නා වූ ශරීර බලය දෙන්නා වූ ශරීර පැහැය දෙන්නා වූ නුවණ දෙන්නා වූ සැප දෙන්නා වූ නුවණැති හෙතෙමේ සැපය ලබන්නේ ය.

ආයුෂය ශරීර ශක්තිය රූප ශෝභාව සැපය ප්‍රඥාව යන මේවා දී යම් යම් තැනක උපදී නම් ඒ ඒ තැන දීර්ඝායු ඇත්තේ ද පිරිවර ඇත්තේ ද වේ” ය යනු ගාථාවල තේරුමය.

මල්ලිකා දේවි

සැවැත් නුවර එක් මල්කරුවෙකුට සොළොස් හවුරුදු වියට පැමිණි රූමත් දුවක් වූවා ය. දිනක් ඕ තලප ගුළි තුනක් පැසෙහි ලා ගෙන තවත් දැරියන් හා එක්ව මල්වත්ත බලා ගියා ය. එදින සංඝයා පිරිවරා පිඬු පිණිස සැවැත් නුවරට වඩනා බුදුරජාණන් වහන්සේ ඇයට අතරමඟදී හමු වූහ. බුදුරදුනට පිදීමට අනිකක් නැත්තා වූ ඕ තමා ගෙන යමින් සිටි තලප ගුළි තුන තථාගතයන් වහන්සේට පිළිගැන්වූවා ය. තථාගතයන් වහන්සේ ඇගේ පූජාව පාත්‍රය එලවා පිළිගත් සේක. ඕ උන්වහන්සේගේ පා වැඳ බුද්ධාලම්බණ ප්‍රීතියෙන් තථාගතයන් වහන්සේ දෙස බලා සිටියා ය. එකල්හි තථාගතයන් වහන්සේ ඇය දෙස බලා සිනා පහළ කළ සේක. බුදුවරයෝ විශේෂ කරුණකට මිස සාමාන්‍ය මිනිසුන් මෙන් අකාරණයෙන් සිනා පහළ නො කරන සේක. එබැවින් අනඳ තෙරණුවෝ සිනා පහළ කිරීමේ කරුණ තථාගතයන් වහන්සේ ගෙන් විචාළහ. “ආනන්දය! මේ කුමරිය තලප පූජා කිරීමේ පිනෙන් අද ම කොසොල් රජුගේ අගමෙහෙසිය වන්නීය” යි තථාගතයන් වහන්සේ වදාළහ.

කුමාරිකාව උයනට ගොස් මිහිරි ගී ගයමින් එහි උන්නා ය. එදිනම කොසොල් රජ අජාසත් රජු හා යුද කොට පැරදී අසකු පිටින් පලායන්නේ උයන සමීපයේ දී ඇගේ ගී හඬ ඇසී අසු උයනට යැව්වේ ය. කුමරිකාව සෙසු දැරියන් සේ බිය වී පලා නො ගොස් නො බා රජු ඉදිරියට ගොස් අසුගේ රැහැන අල්ලා ගත්තා ය. රජ අසු පිට හිඳම සැමියකු ඇති නැති බව විචාරා සැමියකු නැති බව දැන අසු පිටින් බැස ඇගේ උකුලෙහි හිස තබා මඳ වේලාවක් හිඳ විඩා සන්සිඳවා ගෙන ඇය ද අසු පිට නංවා බලකාය හා නගරයට පිවිස ඇය ඇගේ නිවසෙහි රඳවා රජ මැදුරට පිවිස සවස් කාලයේ රථයක් යවා මහත් සත්කාරයෙන් සම්මානයෙන් ඇය ගෙන්වා රුවන් රැසක සිටුවා අභිෂේක කරවා අග මෙහෙසිය කර ගත්තේ ය. ඕ රජුට අතිශයින් ප්‍රිය වූවා ය.

(ජාතකට්ඨකථා සත්තකනිපාතයෙන්)

කැඳ පිදීමේ අනුසස්

කැඳ වනාහි ආහාරයක් ද වන බෙහෙතක් ද වන මනුෂ්‍ය ශරීරයට ඉතා හොඳ දෙයකි. ආයුෂය වර්ණය සැපය බලය නුවණය යන භෝජනයෙන් ලැබෙන අනුසස් පස කැඳෙන් ද ලැබේ. සාගින්න සන්සිඳීම, පිපාසාව සන්සිඳීම, වාතය අනුලොම් වීම, ආමාශය පිරිසිදු වීම, නොපැසී ඉතිරි වූ ආහාර පැසීම යන අනුසස් පස ද කැඳෙන් ලැබේ. එම අනුසස් කැඳ වැළඳීමෙන් ලැබෙන අනුසස් ය.

“දස ඉමේ බ්‍රාහ්මණ! ආනිසංසා යාගුයා. යාගුං දෙන්තො ආයුං දෙති. වණ්ණං දෙති, සුඛං දෙති, බලං දෙති, පටිභාණං දෙති, යාගු පීතා ඛුදං පටිහන්ති, පිපාසං පටිවිනොදෙති, වාතා අනුලොමෙති, වත්ථිං සොධෙති, අමාවසෙසං පාචෙති, ඉමෙ ඛො බ්‍රාහ්මණ දසානිසංසා යාගුයා.”

(මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධක)

මෙසේ තථාගතයන් වහන්සේ විසින් ඉහත කී යාගුවෙහි අනුසස් දසය වදාරා ඇත්තේ ය. දසානිසංසයක් ඇති බැවින් ශරීරයට ඉතා යහපත් වන කැඳ සුදුසු අවස්ථාවන්හි සිල්වත් ගුණවත් උතුමන්ට පිදීම බොහෝ අනුසස් ලැබෙන පින්කමෙකි.

යාගුදායක තෙරුන් වහන්සේ

මෙයින් කප් තිස්දහසකට පෙර එක් මිනිසෙක් මාර්ගෝපකරණ රැගෙන ගමනක් යන්නේ ගඟක් ගලා තිබූ බැවින් ගමක එක් විහාරස්ථානයක නැවතිණ. එහි වෙසෙන භික්ෂූන්ට ද ගඟ ගලා ඇති බැවින් පිඬු පිණිස යා නො හැකි විය. ඒ මිනිසා පහන් සිතින් තමාගේ සහල් වලින් කැඳක් පිස, ඒ භික්ෂූන්ට පිළිගැන්වී ය. ඒ පිනෙන් ඔහු දීර්ඝ කාලයක් දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳ අප බුදුන් කල කුලගෙයක ඉපිද පැවිදි වීමට හිසකේ කපද්දී ම සව් කෙලෙසුන් නසා රහත් විය. ඒ තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේ ය.

“යාගුං සංඝස්ස දත්වාන පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ,

පඤ්චානිසංසෙ අනුභොමි අහො යාගු සුයිට්ඨතා.

-

අඛ්‍යාධිතා රූපවත ඛිප්පං ධම්මනිසන්තිතා,

ලාභිතා අන්නපානස්ස ආයු පඤ්චමකං මම.

-

තිංස කප්පසහස්සම්හි යං දානමදදිං තදා,

දුග්ගතිං නාභිජානාමි යාගුදානස්සිදං ඵලං.”

(අපදාන පාළි)

තේරුම:

අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයෙහි සංඝයාහට කැඳ දී පඤ්චානිසංසයක් අනුභව කරමි. යාගුදානයේ යහපත් බව ආශ්චර්ය ය.

නිරෝග බව, රූප ශෝභාව, වහා ධර්මය තේරුම් ගැනීමේ සමත් බව, අඩුවක් නැතිව ආහාර පාන ලැබීම, දීර්ඝායුෂ්ක බව, යන මේ පස යාගුදානයේ ආනිසංසයෝ ය.

කල්ප තිස්දහසකට පෙර එකල යම් දානයක් දුනිම් ද ඒ හේතුවෙන් මෙතෙක් දුර්ගතිය නො දනිමි. මෙය යාගුදානයේ ඵලය ය.

කොඩි පූජාවේ අනුසස්

බුද්ධාදී උත්තමයන්ට ගරු කිරීම් වශයෙනුත් පූජා වශයෙනුත් මාර්ගවල හා දාගැබ් මහ බෝ ප්‍රතිමා ගෘහ පිහිටි තැන්වලත් සැදැහැවත්හු කොඩි එල්ලති. කොඩි ඔසවති. කොඩිය ජනප්‍රිය දර්ශනීය වස්තුවෙකි. එබැවින් කොඩි පූජාවෙන් ලැබෙන පින විශේෂයෙන් උපනුපන් තැන උසස් පුද්ගලයන් වීමටත්, ජනප්‍රිය පුද්ගලයන් වීමටත් හේතුවන බව කිව යුතුය.

උපවාන තෙරුන් වහන්සේ

මෙයින් කල්ප ලක්ෂයකින් පූර්වයෙහි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ගේ ශාරීරික ධාතුහු අප බුදුරදුන්ගේ ධාතුන් මෙන් විසිරී නොසිට ඒකඝනව සිටියහ. දෙව් මිනිස් දෙකොටසම එකතුව උන්වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට මහා දාගැබක් කළහ. මහජනයා ඉතා බැතියෙන් අනේකාකාරායෙන් ඒ චෛත්‍යය පුදනු දුටු හංසවතී නගරයෙහි කුලී වැඩ කරමින් ජීවත් වූ එක් දුගියෙක් සෝදා පිරිසිදු කොට තිබූ තමාගේ උතුරු සළුව (කරේ දමන රෙද්ද) උණ ලීයක අග එල්වා කොඩියක් කොට චෛත්‍යය සමීපයෙහි පිහිට වූයේ ය. එය සුලඟින් සැළෙනු දැක දුගියාට ඉමහත් සතුටක් ඇතිවිය. ඔහු මහත් ප්‍රීතියන් එක්තරා තෙර නමක් වෙත ගොස් තමාගේ ධ්වජ පූජාවේ අනුසස් විචාළේ ය. තෙරුන් වහන්සේ එහි අනුසස් මෙසේ පැවසූහ.

“හත්ථි අස්ස රථාපත්ති සේනාච චතුරංගනී,

පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානිස්සිදං ඵලං.”

හස්ති සේනාව, අශ්ව සේනාව, රථ සේනාව, පාබල සේනාව යන සිව්රඟ සෙනග නිරතුරුව පිරිවරන්නාහ. මෙය ධවජ දානයේ ඵලය ය.

“සට්ඨිතුරියසහස්සානි භෙරියො සමලංකතා,

පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සිදං ඵලං.”

සැටදහසක් තූර්ය භාණඩද මැනැවින් අලංකාර කළ බෙරද තා නිරතුරු පිරිවරන්නාහ. මෙය ධ්වජ දානයේ ඵලය ය.

“ඡලාසීතිසහස්සානි නාරියෝ සමලංකතා,

විචිත්තවත්ථාභරණා ආමුත්ත මණිකුණ්ඩලා.

ආළාරපම්හා හසුලා සුසඤ්ඤා තනුමජ්ඣිමා,

පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සිදං ඵලං.”

විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් හා මිණි කොඬොලින් අලංකෘත වූ නිල්වන් ලැම ඇත්තා වූ මඳ සිනා ඇත්තා වූ මනා හික්මීම ඇත්තාවූ ඉතා උස් ද ඉතා මිටි ද ඉතා ස්ථූල ද ඉතා කෘශ ද නොවූ මධ්‍යම ශරීර ඇත්තා වූ අසූසය දහසක් ස්ත්‍රීහු තා පිරිවරන්නාහ. මේ ධ්වජ දානයේ ඵලය ය.

“තිංස කප්පසහස්සානි දෙවලොකෙ රමිස්සසි,

අසීතික්ඛන්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සසි.”

කල්ප තිස්දහසක් සැපවිඳින්නෙහි ය. අසූවරක් දේවෙන්ද්‍රව දේවරාජ්‍යය කරන්නේ ය.

“සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්ති භවිස්සසි,

පදේසරජ්ජං විපුලං ගණනාතො අසංඛීයං.”

දහස් වරෙක චක්‍රවර්තී රජ වන්නෙහි ය. ගණන් නැති වාරවල ප්‍රදේශ රජ වන්නෙහි ය.

“කප්පසතසහස්සම්හි ඔක්කාක කුලසම්භවො,

ගොතමො නාමගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.

-

දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො,

පුඤ්ඤකම්මේන සංයුත්තො බ්‍රහ්මබන්ධු භවිස්සති.

-

අසිතිකෝටිං ඡඩ්ඩෙත්වා දාසෙ කම්මකරෙ බහුං,

ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිස්සති.

-

ආරාධයිත්වා සම්බුද්ධං ගොතමං සක්‍යපුංගවං,

උපවානොති නාමෙන හෙස්සසි සත්ථු සාවකො.”

කල්ප ලක්ෂයකින් ඔබ ඔක්කාක කුලයෙහි උපන් ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘන් වහන්සේ ලොව පහළ වන්නා හ. එකල දෙව්ලොවින් චුතව පිනැති බ්‍රාහ්මණයෙක් වන්නේ ය. බොහෝ දාශකර්මකාරයන් හා අසූ කෙළක් ධනය ද හැර ගෞතම බුදුන් වහන්සේගේ සස්නෙහි පැවිදි වන්නේ ය. ශාක්‍යපුංග වූ ගෞතම බුදුන් වහන්සේ ආරාධනය කොට උපවාන නමින් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ ය.

“සතසහස්සිතෝ කප්පෙ යං කම්මකරිං තදා,

දුග්ගතිං නාභිජානාමි ධජදානස්සිදං ඵලං.”

මේ උපවාන තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයකි.

(අපදාන පාළියෙන් ගන්නා ලදී)

ශබ්ද පූජාවේ අනුසස්

බෞද්ධයන් කරන පින්කම් වලින් ශබ්ද පූජාව ද එකකි. එය මහත් පින්කම්වලට තිබිය යුතු ම අංගයක් ලෙස බොහෝ බෞද්ධයෝ සළකති. ඒ ශබ්ද පූජාව ඉතා අතිතයේ පටන්ම කැරුණු බව පිටකත්‍රයෙන් හා අටුවාවලින් ද වංශකථාවලින් ද පෙනේ. ප්‍රාතිහාර්යයෙන් බුදුරදුන් වඩනා කල්හි මග දෙපස ගෙවල ඇති බෙර වීණා ආදී තූර්ය භාණ්ඩ වලින් ඉබේම නාදය නගින්න පටන් ගන්නා බව ද බොහෝ පොත්වල කියා තිබේ. එයින් පෙනෙන්නේ ශබ්දයත් බුද්ධ පූජාවට අවශ්‍ය අංගයක් බවය. එහෙත් මේ ශබ්ද පූජාව තථාගතයන් වහන්සේ වර්ණනා කළ තැනක් පිටකත්‍රයෙහි දක්නට නැත. ශබ්ද පූජාවේ අනුසස් ද තථාගතයන් වහන්සේ විසින් වදාළ තැනක් දක්නට නැත. පින්කම්වල අනුසස් දක්වා ඇති අපදාන විමානවත්ථු ආදී ග්‍රන්ථවල මල් පූජා ආහාර පූජ වස්ත්‍ර පූජා කිරීමෙන් නොයෙක් අනුසස් ලැබූ අය පිළිබඳ බොහෝ කථා ඇත්තේ ය. ඒවායේ ද ශබ්ද පූජාවේ අනුසස් දැක්වෙන කථා දුර්ලභ ය. අපදාන පාළියෙහි පමණක් ශබ්ද පූජා කළවුන් පිළිබඳ කථා දෙක තුනක් දක්නා ලැබේ. ඒවා ද බෝධිවලට ශබ්ද පූජා කිරීම පිළිබඳ කථාය.

අත්ථදස්සී බුදුරදුන් පිරිනිවීමෙන් පසු ඒකාසනීය තෙරුන් වහන්සේ වරුණ නම් දෙව් රජෙක්ව සිට සියළු තූර්ය භාණඩයන් ගෙන සිය පිරිස ද සමඟ ඒ බුදුරදුන්ගේ බෝධිය වෙත ගොස් තූර්යවාදනයෙන් හා නැටුමෙන් ගැයුමෙන් ද බෝධි පූජාවක් කළ බවත් එතැන් පටන් සසර දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳ අප බුදුසසුනෙහි පැවිදිව රහත් වූ බවත් එකාසනියත්ථෙර අපදානයෙහි දැක්වේ.

“නිබ්බුතෙ ලොකනාථම්හි අත්ථදස්සී නරුත්තමො,

තුරියං සබ්බමාදාය අගමං බෝධිමුත්තමං.

-

වාදිතෙනෙ ච නච්චේන සම්මතාලසමාහිතො,

සම්මුඛාවිය සම්බුද්ධං උපට්ඨිං බෝධිමුත්තමං.

-

සතකම්මාභිරුද්ධොහං පසන්නො බෝධිමුත්තමං,

තෙන චිත්තප්පසාදෙන නිම්මානං උප්පජ්ජහං.

-

තිවිධග්ගි නිබ්බුතා මය්හං භවා සබ්බේ ස්මූහතා,

ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධ සාසනෙ.”

(එකාසනියත්ථෙර අපදානයෙන්)

විපස්සි බුදුරජාණන් වහන්සේගේ බෝධියට සක් පිඹිමින් වන්දනා කළ පිනින් බොහෝ සම්පත ලද බව ඒකසංඛීයත්ථෙර අපදානයෙහි දක්වා තිබේ. තවද විපස්සි බුදුරදුන්ට සක් පිඹීමෙන් දිනපතා උපස්ථාන කිරීමෙන් බොහෝ සම්පත් ලද බව බුද්ධුපට්ඨාකථෙර අපදානයෙහි දක්වා තිබේ. ඒ සක් පිඹීම කෙසේ කරන ලද ද යන බව එහි පැහැදිලි ලෙස විස්තර වශයෙන් දක්වා නැත.

කප්රුක් පූජාවෙහි අනුසස්

මෙකපට සිවනූවන කපෙහි ලොව පහළ වී වදාළ සිද්ධාර්ථ නම් බුදුරදුන්ගේ චෛත්‍යය සමීපයෙහි එක් සැදැහැවතෙක් විචිත්‍ර වස්ත්‍රයක් එල්වා කප් රුකක් සාදා තැබීය. එය චෛත්‍යස්ථානයට සැරසිල්ලක් වශයෙන් කරන ලද්දක් විය හැකිය. ඒ පිනෙන් ඔහු උපන් තැන්වලදී ඔහුගේ වාසස්ථානය අලංකාර කෙරෙමින් කප් රුක් පිහිටියේය. ඔහු හා ඔහුගේ පිරිස ඒ කප් රුක්වලින් වස්ත්‍ර ගෙන සැමකල්හි රිසිසේ පරිභෝග කළහ. මෙසේ ඒ පිනෙන් ඔහු දෙව් මිනිස් දෙගතියෙහි සිවු අනූ කපක් දෙව් මිනිස් සැප විඳ අප බුදු සසුනෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත් වී නිවන් දුටුවේය. කප්පරුක්ඛීය තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේය.

“චතුන්නවුතිතො කප්පෙ යං රුක්ඛං ඨපයිං අහං,

දුග්ගතිං නාභිජානාමි කප්පරුක්ඛස්සිදං ඵලං.”

(අපදාන පාළියෙන්)

ඇමදීමේ අනුසස්

වන්දනාව සඳහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නො සළකා නො යා යුතුය. තමන් පැමිණි විට මලසුන්වල පරමල් ඇති නම් ඉවත් කළ යුතුය. මලසුන් අපවිත්‍ර වී ඇති නම් සෝදා පිරිසිදු කළ යුතුය. විහාරගෙය අපිරිසිදු වී නම් ඇමද පිරිසිදු කළ යුතුය. මිදුල් ඇමද පිරිසිදු කළ යුතුය. දාගැබ අවට බෝධිය අවට කසල ඇති නම් ඇමද ඉවත් කළ යුතුය. තණ හා වල් පැළෑටි වැවී ඇති නම් ඉවත් කළ යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමෙකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කරගත හැකි පින්කමෙකි.

ඇමදීමෙන් ලැබෙන බොහෝ අනුසස් සකිං සමජ්ජක ථෙරාපදානය, බෝධිසමජ්ජක තෙරාපදානය යන දෙක්හි දක්වා තිබේ. උපදින උපදින ජාතියේ අංග ප්‍රත්‍යංග සම්පූර්ණ වීම, උසමහතින් යුක්ත වීම, ශරීරය වර්ණවත් වීම, සම සිනිඳු වීම, ජනප්‍රිය වීම, දීර්ඝායුෂ්ක වීම, ශරීරය ශක්තිමත් වීම, බෝ කල් දුක් විඳින ජනයාට අප්‍රිය වන ලාදුරු පරංගි කඩුවේගන් වන හා නොයෙක් නපුරු කුෂ්ඨ රෝග ඇති නොවීම, සුදුකබර වායු ගෙඩි ඉණිගැට සුදුලප කළුලප කුරුළෑ අලුහන් තොල් අතුල් පතුල් පැලීම සම ඉරිතැලීම යන මේ රෝග නො හට ගැනීම ඇමදීමේ අනුසස් වශයෙන් විශේෂයෙන් කියා තිබේ.

ස්ත්‍රීන්ට, සත්පුරුෂයන්ට අපරාධ කිරීම, පරසන්තක වස්තුව පැහැර ගැනීම ආදී පව්කම්වලින් කුෂ්ඨ රෝගය හට ගන්නා බවත් කුෂ්ඨ රෝගියා මළ පසු එය භවාන්තරයට යන බවත් වෛද්‍ය ග්‍රන්ථවල කියා තිබේ. ගුණවතුන්ට අපරාධ කිරීමේ පවින් කුෂ්ඨ රෝගය හටගන්නා බව බුදුදහමෙහි ද කියා තිබේ. කෙතෙක් ප්‍රතිකාර කළ ද නිෂ්ඨාවට සුව නොවන කුෂ්ඨ රෝගයට සිද්ධස්ථානය ඇමද පිරිසිදු කිරීම හොඳ ප්‍රතිකාරයෙකි. කලක් එසේ කිරීමෙන් සමහර විට කුෂ්ඨ රෝගය නිෂ්ඨාවටම සුව වේ.

ඇමදීම කය පිරිසිදු වීමට පමණක් නොව සිත පිරිසිදු වීමට ද හේතු වන පින්කමෙකි. “මාගේ මේ ව්‍යායාමයෙන් මේ ස්ථානය පිරිසිදු වන්නාක් මෙන් ලෝභ - ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - විචිකිත්සාදි කෙලෙස් කසළින් මාගේ සිත ද පිරිසිදු වේවා” යන අදහස ඇතිකර ගෙන ඇමදීම කළ යුතුය. එසේ කළ කල්හි ඇමදීමේ කුශලයෙන් චිත්තපාරිශුද්ධිය ද ලැබේ. චිත්තපාරිශුද්ධිය සත්ත්වයනට ඉතාම අවශ්‍ය දෙයකි. සත්ත්වයන් නොයෙක් පව්කම් කොට නැවත නැවත අපායෙහි උපදින්නේ ද චතුස්සත්‍යාවබෝධ කොට නිවනට නො පැමිණිය හැකිව සසර රැඳී සිටින්නේ ද සිතෙහි අපිරිසිදු බව නිසාම ය. චිත්තපාරිශුද්ධිය ලැබීමට කරන්නට ඇති හොඳම පින්කම සිද්ධස්ථාන පවිත්‍ර කිරීම ය.

පඤ්චානිසංස සම්මජ්ජනියා සකචිත්තං පසීදති පරචිත්තං පසීදති දෙවතා අත්තමනා හොන්ති, පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති, කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.

(පරිවාර පාළි)

තේරුම:

ඇමදීමෙහි අනුසස් පසෙකි. තමාගේ සිත පහදී, අනුන්ගේ සිත පහදී, දෙවියෝ සතුටු වෙති, රූප ශෝභාව දෙන පිනක් රැස් කරයි. මරණින් මතු ස්වර්ගයෙහි උපදී.

මේ දේශනාව පිළිබඳ සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි එන විස්තරය මෙසේ ය.

කටකන්දරවාසී ඵුස්සදේව තෙරණුවෝ සෑමළුව හැමද නිකමල් අතුලාක් මෙන් සමව පිහිටි වැලි ඇති සෑ මලුව බලමින් බුද්ධාලම්බණ ප්‍රීතිය උපදවාගෙන සිටියහ. එකල්හි මාරයා පර්වත පාදයේ උපන් කළු වඳුරෙක් මෙන් වී එහි පැමිණ ගොම විසුරුවා සෑ මළුව අපවිත්‍ර කර පළා ගියේය. එයින් තෙරුන් වහන්සේට අර්හත් ඵලයට නො පැමිණිය හැකි විය. දෙවන දවස ද තෙරුන් වහන්සේ මළුව ඇමද ප්‍රීතිය උපදවා බලා සිටින කල්හි මාරයා මහලු ගොන් වෙසකින් පැමිණ මළුව අපවිත්‍ර කර ගියේය. තුන්වන දින සෑමළුව ඇමද තෙරුන් වහන්සේ බලා සිටින කල්හි මාරයා කොරකුගේ වේශයෙන් පැමිණ පා අදිමින් ගොස් සෑ මළුව විරූප කළේය. එකල්හි තෙරුන් වහන්සේ මෙබඳු භයානක පුරුෂයෙකු යොදුනක් පමණ ඇති මේ ගොදුරු ගමෙහි දැක නැත. මොහු මාරයාවත්දෝ යි සිතා “නුඹ මාරයාදැ” යි ඇසූහ. “එසේය” යි පිළිතුරු දිණ. නැවත “ඔබ බුදුරදුන් දැක ඇත්තෙහිදැ” යි තෙරුන් වහන්සේ ඇසූහ. “එසේය” යි මාරයා පිළිතුරු දිණ. “මාරයා නම් මහානුභාව ඇතියෙක. ඔබට බලය ඇති නම් බුදුරදුන්ට සමාන ඇත්මභාවයක් මවන්න” යයි තෙරණුවෝ කීහ. “හිමියනි බුදුරදුන් වැනි ආත්මභාවයක් නො මැවිය හැකිය. එහෙත් තරමක සමාන ආත්මභාවයක් මවමි” යි කියා මරු බුද්ධ වේශය ගෙන තෙරුන් වහන්සේට පෙනී සිටියේය. තෙරුන් වහන්සේ මරු දෙස බලා බුද්ධ වේශයෙන් සිටිනා කල්හි කෙලෙස් සහිත වූ මොහු මෙතරම් හොබනේ නම් නික්ලේශී වූ තථාගතයන් වහන්සේ කොතරම් ශෝභමාන වන්නට ඇතිදැ යි සිතා බුද්ධාලම්බණ ප්‍රීතිය උපදවා විදසුන් වඩා අර්හත් ඵලයෙහි පිහිටියේය. ඒ බව දත් මාරයා “ඔබ විසින් රවටන ලද්දෙමි” යි කීය. තෙරුන් වහන්සේ “මාරය නුඹ වැනියන් රවටන්නේ කුමකටදැ” යි කීහ.

ලෝකන්තර විහාරයේ දත්ත නම් තරුණ භිෂුවක් ද චෛත්‍යංගණය හැමද බලා සිට ඕදාත කසින ධ්‍යානය ලැබ අෂ්ට සමාපත්තිය උපදවා විදසුන් වඩා සෝවාන් සකෘදාගාමී අනාගාමි යන ඵලත්‍රයට පැමිණියේ ය.

පරසිත් පැහැදීම:

තිස්ස නම් තරුණ භික්ෂුවක් දඹකොළ සෑ මළුව හැමද කසළ ඉවත කරන පැස අතින් ගෙන සිටියේ ය. එකල්හි තිස්ස දත්ත නම් මහ තෙර නමක් නැවකින් බැස අවුත් සෑ මළුව බලා ඇවිදින්නේ සිත දියුණු කළ කෙනෙකු විසින් අමදින ලද තැනක් බව දැන සතුටු වී තරුණ භික්ෂුවගෙන් ප්‍රශ්න දහසක් ඇසීය. තරුණ භික්ෂුව සියල්ල විසඳුයේය. එක්තරා විහාරයක තෙර නමක් සෑමළුව ඇමද තැබුයේය. යෝනක රටින් චෛත්‍යවන්දනාව සඳහා ස්ථවිරවරුන් සතර නමක් එහි පැමිනියහ. හැමද පිරිසිදු කර තිබූ සෑ මළුව දැක සිත පැහැදී එක් තෙර නමකට අටකපක් අතීතය සිහි කළ හැකි විය. එක්නමකට සොළොස් කපක් සිහි කළ හැකිවිය. එක් නමකට විසි කපක් සිහි කළ හැකි විය. එක් නමකට තිස් කපක් සිහි කළ හැකි විය.

දෙවියන් සතුටු වීම:

එක් විහාරයක භික්ෂුවක් සෑ මලුව හා බෝ මලුව ඇමද නෑමට ගියේය. දෙවියෝ මේ විහාරය කළ තැන් පටන් කිසි දිනෙක මෙසේ වත සම්පූර්ණ කොට ඇමදූ භික්ෂුවක් නො වීය යයි ප්‍රසන්නව මල් ගෙන භික්ෂුව එන මඟ බලා සිටියෝ ය. භික්ෂුව අවුත් ඔවුන් දැක “තෙපි කවර ගමකදැ” යි ඇසීය. “ස්වාමිනි අප මෙහි ම ය. මේ විහාරය කළ තැන පටන් මේ වන තුරු මෙසේ වත සම්පූර්න කොට ඇමදීම කළ අන් භික්ෂුවක් නැති නිසා අපි පැහැදී නුඹ වහන්සේට මල් ගෙන ආවෙමු” යි දේවතාවෝ කීහ.

රූප ශෝභාව ඇතිවීම:

පෙර අනුරාධපුරයෙහි විසූ අභය තෙරුන් වහන්සේ ගේ රූප ශෝභාව ඉතා මනහර විය. උන්වහන්සේ සුන්දර රූපය ඇතියෙකු වශයෙන් ප්‍රසිද්ධ කෙනෙක් වූහ. එසේම රූප ශෝභාවෙන් ප්‍රසිද්ධ අමාත්‍ය පුත්‍රයෙක් ද විය. ඒ දෙදෙනාගෙන් වඩා ශෝභමාන තැනැත්තා කවරේ ද යන කථාව ජනයා අතර ඇති විය. ඒ දෙදෙනා එක් තැනකදී දැකිම සඳහා දිනක් අමාත්‍ය පුත්‍රයා ගේ ඥාතීහු ඔහු හොඳ ඇඳුම් පැලඳුම් වලින් සරසා චෛත්‍යය වන්දවන්නෙමුය යි රුවන්වැලි මහා සෑය වෙත කැඳවා ගෙන ආහ. අභය තෙරුන් වහන්සේගේ මව ද ලස්සන සිවුරක් පිළියෙල කර තෙරුන් වහන්සේට යවා හිස රැවුල් බාවා ගෙන මේ සිවුරු පොරවාගෙන වන්දනාව සඳහා රුවන්වැලි මහා සෑය වෙත එන ලෙස දන්වා යැවුවාය. අමත්‍ය පුත්‍රයා නෑයන් පිරිවරා ගෙන ප්‍රාචීනද්වාරයෙන් රුවන්වැලි මහා සෑමළුවට ඇතුල් විය. අභය තෙරුන් වහන්සේ ද භික්ෂුන් පිරිවරා දක්ෂිණද්වාරයෙන් සෑ මළුවට පිවිසියහ. දෙදෙනා එක් වූ කල්හි “ඔබ මහළු තෙරුන් වහන්සේ හැමදූ තැන කසළ ගෙන ගොස් දමා මා හා තරඟ කරන්නෙහිදැ” යි අභය තෙරුන් වහන්සේ අමාත්‍ය පුත්‍රයාට කීහ. අතීත ජාතියේ අභය තෙරුන් වහන්සේ මහතෙර නමක් වී කතරගම සෑ මලුව ඇමදූහ. අමාත්‍ය පුත්‍රයා මහ උවසුවකුව සිට උන්වහන්සේ ඇමද එක් කළ කසළ ඉවත් කළේය. ඒ දෙදෙනාට විශේෂ රූප ශෝභාව ඇති වුයේ එයිනි.

(සමන්තපාසාදිකාවෙන්)

තියුණු නුවණ ලබීම:

කාශ්‍යප බුදුරදුන්ගේ සසුන පවත්නා කල්හි එක් ගංතෙරක බොහෝ භික්ෂූන් වෙසෙන සංඝාරාමයක් විය. එහි වෙසෙන වත් සම්පූර්ණ කරන භික්ෂුහු උදයෙන් ම නැගිට ඉදල් ගෙන බුදුගුණ සිහි කරමින් මිදුල් අමදිති. එක් තෙර නමක් ඇමදූ කසළ එකතු කොට සමීපයෙන් යන සාමණේර නමක් දැක “සාමණේරය මේ කුණු ඉවත් කරන්න” යි කීය. සාමණේර නම නො ඇසුනාක් මෙන් ගියේය. දෙවන තුන් වර ද එසේ කී නමුත් සාමණේර නම ඇහුන්කන් නො දුන්නේය. තෙර නම කිපී සාමණේර නමට ඉදල් මිටින් පහරක් ගැසීය. සාමණේර තෙමේ බිය වී හඬමින් කසල ගොඩ ගෙන ගොස් දමා “මේ කසළ ඉවත් කිරීමේ පිනෙන් මම නිවනට පැමිණෙන තුරු උපදින උපදින ජාතියේ නභෝමධ්‍යගත සූර්යයා සේ මහාතේජස් ඇති වෙම්වා” යි පැතීය. ඉක්බිති සාමණේර නම නෑම සඳහා ගඟට ගොස් එහි රළ වේගය දැක කුණු ඇද දැමීමේ පිනෙන් “මතු උපදින උපදින ජාතියේදී මේ රළ වේගය බඳු ස්ථානෝචිත ප්‍රඥාව ඇත්තේ වෙම්වා! ක්ෂය නොවන ප්‍රඥාව ඇත්තේ වෙම්වා!” යි දෙවනුව ද පැතීය. මහතෙර නම ඉදල තැන්පත් කොට නෑම සඳහා තොටට ගියේ සාමණේර නමගේ ප්‍රාර්ථනාව අසා මාගේ නියමය නිසා කසළ ඉවත් කළ මොහුට කොපමණ මහත් දෙයක් සිදුවේ නම් සැදැහැයෙන් ඇමදීම කළ මට මෙතරම් මහත් අනුසසක් ලැබෙන්නට ඕනෑ දැයි සිතා “නිවනට පැමිණෙන තුරු මම උපදින උපදින ජාතියේ මේ රළ වේගය මෙන් ක්ෂය නොවන නුවණ ඇත්තේ වෙම්වා! මොහුගේ සකල ප්‍රශ්නයන් විසඳීමට සමත් වෙම්වා!” යි පැතීය. පසු කාලයේ මිළිඳු රජ වූයේ ඒ සාමණේර නමය. නාගසේන තෙරුන් වූයේ ඇමදූ තෙර නමය.

(මිළින්ද ප්‍රශ්නයෙන්)

චෛත්‍ය එළිකිරීමේ අනුසස්

බුදුරදුන් කල විසූ මහ රහතන් වහන්සේලාගෙන් කෙනෙකු වන පහංකර තෙරුන් වහන්සේ අතීතයේ එක් කපෙක මිනිස් ලොව ඉපිද වන කාර්මිකයෙක් වූහ. දිනක් ඒ වන කාර්මිකයා වනයෙහි ඇවිදිනුයේ කිසිවකුට ලංවිය නොහෙන තරමට වලින් වැසුණු චෛත්‍යයක් දුටුවේය. එය පදුමුත්තර බුදුරදුන්ගේ චෛත්‍යයකි. එය දැක වන කාර්මිකයා චෛත්‍යය කෙරෙහි ගරු සිත් උපදවා බුදුගුණ දන්නා වූ මාහට මේ චෛත්‍යය එළි නො කොට අනිත් කටයුත්තක යෙදීම නුසුදුසු යයි සිතා තමා ගිය කාරිය නවත්වා අකුල් කපා ගස්වැල් කපා ඉවත් කොට සෑය අවට තණ ඉවත් කොට බිම පිරිසිදු කොට අට තැනක හිඳ චෛත්‍යය වැඳ නික්ම ගියේය. ඔහු ඒ පිනෙන් මරණින් පසු තව්තිසා දෙව්ලොව උපන්නේ ය. ඔහුට එහි සැට යොදුන් උස තිස් යොදුන් පලළ රන් විමනක් පහළ විය. ඔහු කල්ප ලක්ෂයක් ඒ පිනෙන් දෙව් මිනිස් ලොව දෙගතියෙහි අනේකාකාරයෙන් සැප විඳ අන්තිම වර මිනිස් ලොව ඉපද අප බුදුසස්නෙහි පැවිදිව සව්කෙලෙසුන් නසා රහත් විය. පහංකර යනු ඒ රහතන් වහන්සේගේ නම විය. උන්වහන්සේ විසින් ඒ පිනෙන් අතීතයේ ලත් ඵල මෙසේ ප්‍රකාශ කර තිබේ.

කුට්ඨං ගණ්ඩො කිලාසොච අපමාරො විතච්ඡිකා

දද්දු කච්ඡුච මෙ නත්ථි සොධනාය ඉදං ඵලං

කුෂ්ඨ ගඩු සුදු කබර අපස්මාර අතුල් පතුල් පැලීමේ රෝගය දද ඇඟ කැසීමද යන මේ රෝග මට නැත. මෙය චෛත්‍ය එළි කිරීමේ ඵලය ය.

අඤ්ඤම්පි මෙ අච්ඡරියං බුද්ධථූපස්ස සොධනෙ

නාභිජානාමි මෙ කායෙ ජාතං පිළක බින්දුකං

බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මාගේ කයෙහි තල කැලැල් හටගත් බවක් නො දනිමි.

අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

ද්වෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ

බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මම දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි ම සැරිසරමි.

අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

සුවණ්ණවණ්ණො සබ්බත්ථ සප්පහාසො භාවාමහං

බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මම සෑම භවයක ම රන්වන් ශරීර ඇත්තෙමි. ප්‍රහාවත් වෙමි.

අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

අමනාපං විවජ්ජති මනාපං උපතිට්ඨති

බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් අමනාප අප්‍රිය දෑ මා කෙරෙන් බැහැර වෙයි. ප්‍රියමනාප දෑ මා කරා එළඹෙයි.

අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

විසුද්ධං හොති මෙ චිත්තං එකග්ගං සුසමාහිතං

බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් මාගේ සිත පිරිසිදු වෙයි. එකඟ වෙයි. මැනවින් සන්සිඳුනේ වෙයි.

අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

එකාසනෙ නිසීදිත්වා අරහත්ටමපාපුණි

බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් මම ඒකාසනයෙහි හිඳ අර්හත්වයට පැමිණියෙමි. මේ ගාථාවෙන් දැක්වෙන්නේ භාවනාවට හිඳගත් පළමුවන වාරයේදීම සියලු කෙලෙසුන් නසා රහත් වූ බවය.

සතසහස්සිතො කප්පෙ යං කම්මමකරිං තදා

දුග්ගතිං නාභිජානාමි සොධනාය ඉදං ඵලං

(පහංකරත්ථෙරාපදානයෙනි)

ප්‍රතිසංස්කරණයේ අනුසස්

අලුත් දාගැබක් ප්‍රතිමා මන්දිරයක් දහම් හලක් සංඝාවාසයක් කිරීම බොහෝ වියදම් කළ යුතු වෙහෙසිය යුතු කාර්යයකි. දැනට ඇත්තා වූ ඒ පුණ්‍යභූමීන් විනාශ වන්නට නොදී ආරක්ෂා කර ගැනීම බෞද්ධයන්ගේ යුතුකමෙකි. එය සැමදෙනාට ම අයත් වැඩකි. එබැවින් වන්දනාවට යන බෞද්ධයන් ඒ පුණ්‍යස්ථාන නැවත නැවත සංස්කරණය කොට ආරක්ෂා කිරීමට ද උත්සාහවත් විය යුතුය. චෛත්‍යාදිය සංස්කරණය කිරීම මහඟු පිනකි.

මෙයින් සිව් අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්‍යයෙහි පැළී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිව් අනූ කපක් දෙව් මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියළු කෙලෙසුන් නසා රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ “සුධාපිණ්ඩිය” යන නමින් ද හඳුන්වන ලදහ. තව ද මෙයින් දෙ අනූ වන කපෙහි බුදු වූ ඵුස්ස බුදුරදුන්ගේ චෛත්‍යය මහවනයෙහි ඇතුන් විසින් පලුදු කරන ලදුව ගස් වැවී ජරාපත් වී තිබිණ. එක් සැදැහැවතෙක් ඒ චෛත්‍යයෙහි කැඬුම් බිඳුම්වලට බදාම ගා ප්‍රතිසංස්කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා ද දෙ අනූ කපක් මුළුල්ලෙහි අපමණ දෙව් මිනිස් සැප විඳ අප බුද්ධශාසනයේ පැවිදිව රහත්ව දුක් කෙළවර කළේය. ඒ රහතන් වහන්සේ ඛණ්ඩඵුල්ලියත්ථෙර යන නමින් හඳුන්වන ලදහ. උන්වහන්සේ ගේ ප්‍රකාශනයක් මෙසේය.

ද්වෙ නවුතෙ ඉතො කල්පෙ යං කම්මකරිං තදා,

දුග්ගතිං නාභිජානාමි සුධාපිණ්ඩස්සිදං ඵලං.

(අපදාන පාලියෙනි)

ප්‍රතිපත්ති පූජාව

ලොවුතුරා බුදුබවට පැමිණ පන්සාළිස් වසරක් ලෝ වැඩ කළා වූ තථාගතයන් වහන්සේ පිරිනිවීම සඳහා කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩ වදාරා සල් රුක් දෙකක් අතර පනවන ලද මඤ්චකයෙහි මතු නොනැගී සිටින සෙය්‍යාවෙන් ශයනය කළ කල්හි දෙවියෝ මල් සඳුන් සුණුවලින් හා සංගීතයෙන් හා අනේක තූර්යයෙන් ද පූජා පවත්වන්නට වූහ. ඒ මහා පූජාව පවත්වන කල්හි තථාගතයන් වහන්සේ ආනන්ද මහ තෙරුන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක.

“න ඛො ආනන්ද එත්තාවතා තථාගතො සක්කතො වා හොති ගරුකතො වා මානිතො වා පූජිතො වා අපචිතො වා යො ඛො භික්ඛුවා භික්ඛුනී වා උපාසකො වා උපාසිකා වා ධම්මානු ධම්මපටිපන්නො විහරති සාමිචිපටිපන්නො අනු ධම්මචාරි සො තථාගතං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති පරමාය පූජාය තස්මාතිහානන්ද ධම්මානුධම්ම පටිපන්නා විහරිස්සාම සාමිචිපටිපන්නා අනුධම්මචාරිනොති එවඤ්හි වො ආනන්ද සික්ඛිතබ්බන්ති”

(පරිනිබ්බාන සුත්ත)

තේරුම:

“ආනන්දය! මෙතෙකින් තථාගත තෙමේ සත්කාර කරන ලද්දේ හෝ ගරු කරන ලද්දේ හෝ සිතින් ආදරය කරන ලද්දේ හෝ පූජා කරන ලද්දේ හෝ අභිවාදනාදිය කරන ලද්දේ හෝ නොවේ. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ නවලෝකෝත්තර ධර්මයට පැමිනීමේ පූර්වභාග ප්‍රතිපදාවෙහි යෙදෙමින් වෙසේ නම්, නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසෙයි නම්, නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසෙයි නම්, හෙතෙමේ තථාගතයන් වහන්සේට සත්කාර කෙරේ. ගරු කෙරේ. සිතින් ආදරය කෙරේ. අභිවාදනාදිය කෙරේ. ආනන්දය එබැවින් තෙපි නවලෝකෝත්තර ධර්මයට පැමිනීමේ පූර්වභාග ප්‍රතිපදාවෙහි යෙදෙන්නමෝ වෙමු යයි ද නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ වෙමු යයි ද, ධර්මයට අනුව හැසිරෙන්නමෝ වෙමු යයි ද මෙසේ හික්මිය යුතුය.

සැදැහැවත්හු තථාගතයන් වහන්සේට මල් පහන් සුවඳ ආහාර පාන යනාදිය බොහෝ පුදති. එහෙත් ඒවායින් උන්වහන්සේට උවමනාවක් නැත. ඒවා ලැබීමේ බලාපොරොත්තුවක් ද උන්වහන්සේට නැත. උන්වහන්සේ බලාපොරොත්තු වන එක් දෙයක් ඇත. එනම් මහජනයා විසින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමය. තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බොහෝ දුක් ගෙන පෙරුම් පුරා බුදු බව ලබා ගත්තේ අනුන්ගේ පූජා සත්කාර ලැබීම සඳහා නොව මහජනයා සම්‍යග් ප්‍රතිපදාවෙහි යෙදවීම සඳහා ය. එ බැවින් උන්වහන්සේ බලාපොරොත්තු වන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යමෙක් යෙදේ නම් එය උන්වහන්සේ තමන් වහන්සේට පූජාවක් කිරීමක් ලෙස සලකති. එබැවින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම තථාගතයන් වහන්සේට පූජා කිරීමක් ද වේ. සුවඳ මල් ආදී ද්‍රව්‍යන් මෙන් තමන් පුරන ප්‍රතිපත්තිය තවත් කෙනෙකුට පූජා කළ හැකි දෙයක් නො වේ. මෙකල බොහෝ දෙනා “ඉමාය ධම්මනුධම්ම පටිපත්තියා බුද්ධං පූජෙමි” යනාදීන් කියා ප්‍රතිපත්ති පූජාවය කියා එකක් කරතත් එසේ කිරීමෙන් යම්කිසි ප්‍රයෝජනයක් නොපෙනේ. නා නා විධ පූජ කොට ඒවායින් නොයෙක් අනුසස් ලැබූ අයගේ කථා බොහෝ ගණනක් අපදාන විමානවත්ථු ආදී බණ පොත්වල දක්නා ලැබේ. ප්‍රතිපත්ති පූජාවය කියා දෙයක් යම් කිසිවකු විසින් කරන ලද බවක් කියැවෙන කථාවක් කිසිතැනෙක නො දක්නා ලැබේ. ඉහත දැක්වූ දේශනා පාඨයෙන් කියැවෙන්නේ ප්‍රතිපත්තියෙන් පිදීමය කියා අමුතු දෙයක් කිරීමට නොව පිළිවෙත් පිරීම ම පූජාවක් වන බවය.

ප්‍රතිපත්ති පූජාව වරදවා තේරුම් ගත් ඇතැම්හු බුදුරදුන් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨය යි වදාරා තිබෙනවාය දන්දීම මල් පහන් පිදීම ආදිය ආමිස පූජාය. ඒවා නො කළාට අප ළඟ ප්‍රතිපත්තිය තිබෙනවාය කියමින් නිකම් ම සිටිති. ගිහියාගේ සම්‍යක් ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පූජාව) පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය.

“යො පන තිසු සරණෙසු පඤ්චසු සීලෙසු දසසු සීලෙසු පරිපූරකාරි හොති මාසස්ස අට්ඨ උපොසථෙ කරොති, දානං දෙති, ගන්ධ පූජං මාලා පූජං කරොති, මාතරං උපට්ඨාති, පිතරං උපට්ඨාති, ධම්මිකෙ සමණබ්‍රාහ්මණෙ උපට්ඨාති, අයං ධම්මානුධම්ම පටිපන්නො නාම හොති.”

තේරුම:

යමෙක් තිසරණය පඤ්චශීලය දශශීලය සම්පූර්ණ කෙරේ ද, මාසයෙහි පොහෝ දින අටෙහි පෙහෙවස් වෙසේ ද, දන් දෙයි ද, සුවඳ පූජා කෙරේ ද, මල් පූජා කෙරේ ද, මවට උපස්ථාන කෙරේ ද, පියාට උපස්ථාන කෙරේ ද, ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේ ද, ඒ තැනැත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේ ය.

මේ අටුවා පාඨයෙන් දැක්වෙන දන් දීම සුවඳ මල් පිදීම මව්පියන්ට ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කිරීම යන මේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති බවය. ප්‍රතිපත්තිය සම්‍යක් ප්‍රතිපත්ති, මිථ්‍යා ප්‍රතිපත්ති වශයෙන් දෙයාකාර වේ. මේ ප්‍රතිපත්ති පූජා කථාවෙහි අදහස් කරන්නේ සම්‍යක් ප්‍රතිපත්තිය ය. එනම් බුදුරදුන් විසින් නො කළ යුතු යයි වදාළ දේවල් වලින් වැළකීමත් කළ යුතු යයි වදාළ දේවල් කිරීමත්ය. යමෙක් බුදුරදුන් විසින් කළ යුතු යයි වදාරා ඇති දානාදී පින්කම් වලින් කුමක් හෝ කෙරේ නම් එය ප්‍රතිපත්ති පූජාව බව දත යුතුය.

ප්‍රාර්ථනාව

මරණින් මතු සුගතියෙහි උපදවා සම්පත් ලබා දීමේ ශක්තියක් පින්වල ඇත. එබැවින් පින් කළ තැනැත්තා කොහි හෝ සුගතියක උපදින්නේ ය. සුගතිය වුව ද සෑම තැනම යහපත් නැත. මිසදිටුවන් වෙසෙන පව් කම්හි ඇලී ගැලී වෙසෙන පව්කමින් ජීවත්වන මිනිසුන් අතර තමා කළ කුසල බලයෙන් උපනහොත් ඒ තැනැත්තාට සිදුවන්නේ තමා ඇසුරු කරන ඒ මිනිසුන් අනුව පව්කම් කොට අපාගත වීමට ය. දෙව්ලොව වුව ද සම්පත්තියෙන් මත්ව ධර්ම සඥාවක් නැතිව කල් යවන දෙවියන් වෙසෙන තැනක උපන හොත් තමා කළ පින් අවසන් වීමෙන් පසු අපාගත විය හැකිය. එබැවින් පින් කරන්නවුන් විසින් පවින් තොරව වෙසෙමින් ඉදිරියටත් පින්කම් කර ගැනීමට අවකාශ ලැබෙන තැනක ඉපදීමට පැතිය යුතුය. “කුසලං කම්මං කත්වා එකස්මිං ඨානෙ පත්ථනං කාතුං වට්ටති” යනුවෙන් කුසල් කොට යම්කිසි සුදුසු ස්ථානයක ඉපදීම පැතිය යුතු බව සංඛාරුප්පත්ති සූත්‍ර අටුවාවෙහි ද කියා ඇත්තේය. මුදල් ඇතියකුට මුදලින් තමා කැමති දෙයක් ගත හැකිවාක් මෙන් පින් ඇති තැනැත්තාට ප්‍රාර්ථනා කළාම ඒ පිනෙන් තමා කැමති තැනකට යා හැකිය. යා යුත්තේ සොයා ගතයුත්තේ පවින් වැළකී පින දියුණු කරගත හැකි තැන් ය.

කිසිම ලෞකික සම්පත්තියක් ස්ථිර නැත. අද දෙව්ලොව දෙවඟනන් පිරිවරාගෙන විසිතුරු දෙව් විමන් වල උසස් ලෙස කම්සැප විඳින තැනැත්තා සමහර විට සෙට තිරිසනෙකි. නැතහොත් ප්‍රේතයෙකි. සමහර විට සංජීවාදී නරකයක ඉපිද ගිනිදැලින් වෙලී සිටින්නෙකි.

මේ ලෝකස්වභාවය ය. සැප සොයන පින් කරන අය විසින් බලාපොරොත්තු විය යුත්තේ කලකදී පිරිහී නොයන ස්ථිර සම්පත්තියකි. ස්ථිර සම්පත්තිය නම් නිර්වාණ සම්පත්තිය ය. එය වැඳුම් පිදුම් කිරීම ආදී කාමාවචර කුසල් වලින් ලැබිය හැක්කක් නො වේ. ඒවා නැතිවද එය නො ලැබිය හැකිය. කාමාවචර කුශලය නිවන් ලැබිය හැකි ත්‍රිහේතුක උත්පත්තියක් ලබා දෙන්නේය. එහි සිට විදසුන් වඩා මඟඵල ලබා ස්ථිර සම්පත්තිය වන නිවනට පැමිණිය හැකිය. අකුශලයෙන් ලබා දෙන අහේතුක ආත්ම භාවයක සිට නිවන් නො ලැබිය හැකිය. නිවන් ලබා දෙන නිවනට පමුණුවන ශක්තිය කාමාවචර කුශලයෙහි නැත ද කාමාවචර කුශලය කොට මේ කුශලය මට නිවන් ලැබීමට හේතු වේවා යි පැතුවාම එය නිවන් ලැබීමට උපකාර වේ. කාමාවචර කුශලයේ උපකාරය නො මැතිවම නිවන් නො ලැබිය හැකිය.

නිවනට පැමිණීමට සියලු කෙලෙසුන් නසා රහත් විය යුතුය. ඇතැම්හු ඉතා පහසුවෙන් අර්හත්වයට පැමිණෙති. ඇතැමුන්ට අර්හත්වයට පැමිනීමට බොහෝ දුක් ගන්නට සිදු වේ. පසේනදී කොසොල් රජු ගේ ඇමතියෙකු වූ සන්තති මහාමත්‍ය තෙමේ නාටිකාංගනාවකගේ මරණයෙන් වූ ශෝකය ඉවසිය නො හැකිව එය සන්සිඳවා ගැනීමට බුදුරදුන් වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ ඔහුට:

“යං පුබ්බෙ තං විසොධෙහි - පච්ඡා තෙ මාහු කිඤ්චනං

මජ්ඣෙ ච නො ගහෙස්සති - උපසන්නො චරිස්සති”

යන ගාථාව දේශනා කළ සේක. එය ඇසීමෙන්ම සන්තති මහාමාත්‍ය තෙමේ එකෙණෙහි ම ගිහිව සිට ම සකල ක්ලේශයන් ප්‍රහාණය කොට අර්හත් ඵලයට පැමිණියේය.

බාහිය දාරුචීරිය බුදුරදුන් වෙත පැමිනියේ උන්වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වඩින අවස්ථාවකය. දාරුචීරියගේ බලවත් ඉල්ලීම නිසා තථාගතයන් වහන්සේ වීථියේ සිටගෙනම:

“තස්මාතිහ තෙ බාහිය එවං සික්ඛිතබ්බං දිට්ඨෙ දිට්ඨමන්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති, එවඤ්හි තෙ බාහිය සික්ඛිතබ්බං, යතො ඛො තෙ බාහිය දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති. සුතෙ සුතමත්තං භවිස්සති. මුතෙ මුතමත්තං භවිස්සති. විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති තතො ත්වං බාහිය න තෙන, යතො ත්වං බාහිය න තෙන තතො ත්වං බාහිය න තත්ථ, යතො ත්වං බාහිය න තත්ථ, තතො ත්වං බාහිය නෙවිධ න හුරං න උභයමන්තරෙන, එසෙවන්තො දුක්ඛස්ස”

යන මේ ධර්මය දේශනා කළ සේක. එය ඇසූ දාරුචීරිය ඒ ධර්මය අනුව සිත යවා එතැනදී ම සව් කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියේ ය.

ඇතැම්හු විස්තර වශයෙන් දේශනා කරන ධර්ම දේශනයක් ඇසීමෙන් ම පහසුවෙන් ම රහත් වෙති. ඇතැම්හු පැවිදි වන්නට හිසකේ බානා අවස්ථාවේදී ම තචපඤ්චක කමටහන මෙනෙහි කොට රහත් වෙති. ඇතැම්හු පැවිදිව දින ගණනකින් රහත් වෙති.

චක්ඛුපාල තෙරුන් වහන්සේට රහත් වීමට තෙමසක් නො නිදා ඇස් අන්ධ වන තුරු භාවනා කරන්නට සිදු විය. කාලවල්ලි මණ්ඩපවාසි මහානාග තෙරුන් වහන්සේට රහත් වීමට සත්වසක් නො නිදා භාවනා කරන්නටත් නැවත සොළොස් වසක් ගත පච්චාගත වත පුරමින් භාවනා කරන්නටත් සිදු විය. ආලින්දක වාසී මහාඵුස්සදේව තෙරුන් වහන්සේට එකුන් විසි වසක් ගතපච්චාගත වත පුරමින් භාවනා කරන්නට සිදු විය. මහා සිව තෙරුන් වහන්සේට තිස් වසක් නො නිදා භාවනා කරන්නට සිදු විය.

බාහිය දාරුචීරිය ට ධර්මය කණ වැටුණු විගසම අර්හත්වයට පැමිණිය හැකි වූයේ පදුමුත්තර බුදුරදුන් දවස වහා ධර්මය අවබෝධ කරගත හැකි වීම පතා පින් කර තිබුණු බැවිනි. පින් කළ අවස්ථාවලදී පහසුවෙන් ධර්මාවබෝධය කර ගත හැකිවීම පහසුවෙන් නිවන් ලැබිය හැකි වීම පැතුව හොත් කා හට වුව ද වැඩි කරදර නො විඳ රහත් විය හැකි විය යුතුය. ඒ නිසා එසේ ප්‍රාර්ථනා කිරීම සඳහා-

“ඉමිනා පුඤ්ඤකම්මේන සුඛාය පටිපත්තියා

පාපුණෙය්‍යාමි නිබ්බානං අජරං අමරං වරං”

යන ප්‍රාර්ථනා ගාථාව මෙහි වන්දනා ගාථා කාණ්ඩයේ දක්වා ඇත. මෙය සැළකිය යුතු කරුණකි. එබැවින් බුදුගොස් හිමියන් විසින් ද,

“පාපුණන්තු විසුද්ධාය සුඛාය පටිපත්තියා

අසොකමනුපායාසං නිබ්බාන සුඛමුත්තමං”

යි සුඛප්‍රතිපදාවෙන් සැමට නිවන් ලැබීම ප්‍රාර්ථනා කර තිබේ.

ප්‍රාර්ථනා සිද්ධියට සිල්වත් බව විශේෂයෙන් වුවමනාය. එබැවින් “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා - පෙ- තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස” යනුවෙන් “මහණෙනි, සිල්වතා ගේ ප්‍රාර්ථනාව විසුද්ධ නිසා සිද්ධ වන්නේය. ඒ ප්‍රාර්ථනා සිද්ධිය සිල්වතා ගැන කියමි. දුශ්ශීලයා ගැන නො කියමි” යි අංගුත්තර අට්ඨක නිපාතයේ වදාරා තිබේ. දුශ්ශීලයන්ගේ ප්‍රාර්ථනා ද සර්වාකාරයෙන් සිදු නො වන්නේ නොවේ. සමහරවිට සිදුවෙයි. එහි සිද්ධිය අනියත ය. සිද්ධ වූව ද සිල්වතාට මෙන් දීප්තිමත්ව පුණ්‍යඵලය නො ලැබේ.

ශීලයෙහි පිහිටා කරන කුශලය මහත්ඵල යයි කියා ඇති බැවින් පින්කම් කිරීමට පූර්වභාගයෙහි බෞද්ධයෝ පන්සිල් ගනිති. එහෙත් ඒ ගන්නා පඤ්ච ශීලය පින මහත් ඵල වීමට ප්‍රමාණවත් වෙතැයි නො කිය හැකිය. පින මහත්ඵල වීමට නම් කවදත් පඤ්ච දුශ්චරිතයෙන් වැළකී සිල්වත්ව සිටිය යුතුය. දුසිල් බවය කියනුයේ ප්‍රාණඝාතාදී පව්කම් කිරීම ය. සිල්වත් බවය කියනුයේ ඒවායින් වැළකී සිටීම ය. පව්වලින් වැළකී සිටීමක් නැතිව නිකම් ම පන්සිල් සමාදන් වීමෙන් සිල්වත් නොවේ. දුශ්ශීලයාට ප්‍රාර්ථනා සිද්ධිය අනියතය යයි කියනුයේ කළ පව්කම් වලින් ඔහු අපායට ගියාම පිනට ඔහුගේ ප්‍රාර්ථනාව සිදුකරන්නට අවස්ථාවක් ඇති නො වන බැවිනි. මෙතේ බුදුන් දැක නිවන් දැකීමට කොතෙකුත් ප්‍රාර්ථනා කර තිබුණ ද පව්කම් කොට ඒ කාලයේ අපායෙහි සිටිය හොත් මෙතේ බුදුන් දැක බණ අසන්නට නො ලැබේ. නිවන් දැකීම ගැන කවර කථා ද?

ඇතැම් අවියත් ධර්ම කථිකයෝ “අප්පමත්තකම්පි භවං න වණ්ණෙමි. අන්තමසො අච්ඡරාසංඝාතමත්තම්පි” යන පාඨය දක්වමින් භවය නො පැතිය යුතුය කියා පින් කරන ජනයා නොමඟ යවති. භවය නො පැතිය යුතුය කියා බුදුරදුන් වදාරා නැත. භවය නො පතා සිටීමෙන් මරණින් මතු කිසිම භවයක නූපදිනවා නම් හොඳය. නො පැතුව ද රහත් නො වූ පුද්ගලයා මරණින් මතු කොතැනක හෝ උපදී. එසේ උපදින තැනැත්තා විසින් තමාට නිවන් මඟ පාදා ගැනීමට උපකාර වන යහපත් තැනක් පතා එහි උපදින තැනට කටයුතු සලසා ගත යුතුය. එසේ නො කොට සුගතියෙහි වුව ද පිනට අනවකාශ තැනක උපන හොත් ඔහුට වඩාත් නිවන දුර වන්නේ ය. ඒ නිසා නිවන් දකිනු රිසි පින්වතුන් විසින් පවින් තොරව වෙසෙමින් පින් කිරීමට ද ඉඩ ලැබෙන තැන් පැතිය යුතුය. මිනිස් ලොව උපාසකෝපාසිකාවන් ඇති, භික්ෂූන් වහන්සේ ඇති, දහම් අසන්න ලැබෙන ප්‍රදේශ ඉපදීමට සුදුසු ස්ථානයෝ ය. පින් කිරීමට ඉතා හොඳ තැන මිනිස් ලොවය. එබැවින් නොයෙක් විට දිව්‍ය ලෝක බ්‍රහ්මලෝකවල උපන් බෝසත්හු ආයු ඇති තෙක් ඒවායේ නො සිට පෙරුම් පිරීම සඳහා මිනිස් ලොව උපදිති. මිනිස් ලොව පින් කිරීමට හොඳම තැන වුව ද පවින් වැළකී සිටීමට දුෂ්කර තැනකි. පව් කරන්නට සිදුවන නොයෙක් අවස්ථා මිනිසාට පැමිණේ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල පවින් වැළකී සිටීම පහසුය. ඔවුන්ට අපට මෙන්ම පව් කරන්නට වුවමනා අවස්ථා නො එළඹේ. දෙවියන්ගේ ආයුෂ දික් බැවින් එදා බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ආදී මගඵල වලට පැමිණි දෙවියෝ අදත් එහි ජීවත්ව ඇත. ඔවුන් හා එක්වන්නට ලැබීම ඉතා යහපතකි. එබැවින් දෙව්ලොව ඉපදීමට පැතීම ද යහපත් බව කිව යුතුය.

නානාප්‍රකාර වන්දනා ක්‍රම

බුද්ධගුණය අනන්තය. ධර්මගුණය අනන්තය. සංඝගුණය අනන්තය. රත්නත්‍රයෙහි අනන්ත ගුණ ඇති බැවින් ඒ ඒ ගුණයන්ගෙන් ව්‍යක්තයෙකුට දහසක් වුව ද වන්දනා ක්‍රම පිළියෙල කළ හැකිය. උගතුන් විසින් දැනට ගාථා වශයෙන් හා වාක්‍ය වශයෙන් පිළියෙල කර ඇති බොහෝ වන්දනා ක්‍රම ඇත්තේ ය. වැඩි ගණනක් වන්දනා ක්‍රම පුහුණු කර ගත් පින්වතාට රත්නත්‍රයේ ගුණ වැඩි ගණනක් දැනගන්නට ලැබීමෙන් රත්නත්‍රය කෙරෙහි අධික ප්‍රසාදයක් ඇති වේ. ඔහුට නොයෙක් ක්‍රමවලින් තෙරුවන් ගුණ සිහි කොට කථනය කොට වැඳුම් පිදුම් කිරීමෙන් බොහෝ පින් සිදු කර ගත හැකිය. එබැවින් වැඩිගණනක් වන්දනා ක්‍රම පාඩම් කරගෙන තිබීම වඩා හොඳය. වඩ වඩා ගුණ කථනය කරමින් වැඩි වේලාවක් වන්දනා කිරීමෙන් වඩා පින් ද සිදු කරගත හැකිය. කොතෙකුත් ගාථා කියමින් බොහෝ කල් වැඳ වැඳ සිටීම නිෂ්ඵල වැඩකැයි ඇතැම්හු කියති. ඔවුන් එසේ කියන්නේ ඔවුන්ගේ නො දැනීම නිසාය. අනේක ප්‍රකාර වන්දනා ක්‍රමවලින් සමහරක් සමහරුන්ට රුචිය. සමහරක් අරුචිය. ඔබට රුචි ක්‍රම තෝරා ගෙන භාවිතා කළ හැකි වීමට මෙහි නොයෙක් වන්දනා ක්‍රම දක්වනු ලැබේ. ඔබට කැමති ක්‍රම තෝරා ගෙන ඒවායින් එකක් දෙකක් හෝ වැඩි ගණනක් හෝ පාඩම් කරගෙන භාවිත කරන්න. බොහෝ වන්දනා ක්‍රම පාඩම් කරගෙන උදයේ එක් ක්‍රමයකින් ද සවස තවත් ක්‍රමයකින් ද එක් දිනක එක් ක්‍රමයකින් ද තවත් දිනක තවත් ක්‍රමයකින් ද වන්දනා කිරීමද යහපති.

බුදුගොස් හිමියන්ගේ රත්නත්‍රය වන්දනා ක්‍රමයක්

කරුණා සීතල හදයං

පඤ්ඤා පජ්ජෝත විහත මෝහතමං

සනරාමර ලෝක ගරුං

වන්දේ සුගතං ගතිවිමුත්තං

සකල සත්ත්ව සමූහයා කෙරෙහි පතළා වූ අනන්ත කරුණාවෙන් සිසිල් වූ හෘදය ඇත්තා වූ ප්‍රඥා ප්‍රදීපයෙන් නසන ලද මෝහාන්ධකාරය ඇත්තා වූ දෙවියන් සහිත ලෝකයාට ගරු වූ නිරය ගතිය තිරශ්චින ගතිය ප්‍රේත ගතිය මනුෂ්‍ය ගතිය දේව ගතිය යන පඤ්ච ගතියෙන් මිදුනා වූ සුන්දර ගමන් ඇති තථාගතයන් වහන්සේ නමදිමි.

බුද්ධෝපි බුද්ධ භාවං

භාවෙත්වා චේව සච්ඡිකත්වා ච

යං උපගතො ගතමලං

වන්දෙ තමනුත්තරං ධම්මං

බුදුරජාණන් වහන්සේ යම් අෂ්ටාංගික ආර්ය මාර්ග සංඛ්‍යාත ධර්මයක් අනුව පිළිපැදීම් වශයෙන් එය වඩාද යම් සපර්‍යාප්තික නවලෝකෝත්තර ධර්මයක් ප්‍රත්‍යක්ෂ කොට පස්මරුන් පරදවා ලොවුතුරා බුදු බවට පැමිණි සේක් ද අනුත්තර වූ ද නිර්මල වූ ද ඒ ධර්මය වඳිමි.

සුගතස්ස ඕරසානං

පුත්තනං මාරසේනමථනානං

අට්ඨන්නම්පි සමූහං

සිරසා වන්දෙ අරියසංඝං

මාරසේනා මර්දනය කරන්නා වූ පුද්ගලයන් අට දෙනෙකුගේ සමූහය වූ තථාගතයන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ ආර්ය සංඝ රත්නය ශීර්ෂයෙන් නමදිමි.

බුදුගොස් හිමියන්ගේ තවත් වන්දනා ක්‍රමයක්

යො අප්පකොටීහිපි අප්පමෙය්‍යං

කාලං කරොන්තො අතිදුක්කරානි

ඛෙදං ගතො ලොකහිතාය නාථො

නමො මහා කාරුණිකස්ස තස්ස

යම් ලෝකනාථයන් වහන්සේ කෙනෙක් සසර සැරිසරනා අසරණ සත්ත්ව සමූහයාගේ යහපත පිණිස කල්ප කෝටි ගණන් වලින් ද ප්‍රමාණ කළ නොහෙන අති දීර්ඝ කාලය මුළුල්ලෙහි පඤ්චමහා පරිත්‍යාගාදී අතිදුෂ්කර ක්‍රියා කිරීමෙන් වෙහෙසට පත් වූ සේක් ද දුක් අනුභව කළ සේක් ද ඒ මහා කාරුණිකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

අසම්බුද්ධං බුද්ධනිසෙවිතං යං

භවාභවං ගච්ඡති ජීවලොකො

නමො අවිජ්ජාදී කිලෙසජාල

විද්ධංසිනො ධම්මවරස්ස තස්ස

සර්වඥයන් වහන්සේ විසින් නිතර සෙව්නා ලද යම් ධර්මයක් අවබෝධ නො කිරීම හේතු කොට සත්ත්වයෝ මේ සංසාරයෙහි කුඩා මහත් භවයන්හි නැවත නැවත උපදිත් ද අවිද්‍යාදී ක්ලේශ ජාලය විධ්වංශනය කරන්නා වූ ඒ උත්තම ධර්මයට මාගේ නමස්කාරය වේවා.

ගුණෙහි යො සීල සමාධි පඤ්ඤා

විමුත්ති ඤාණප්පභූතිහි යුත්තො

ඛෙත්තං ජනානං කුසලත්ථිකානං

තමරියසංඝං සිරසා නමාමි

යම් පුද්ගල සමුහයක් ශීල සමාධි ප්‍රඥා විමුක්ති ඥානාදී ගුණයන්ගෙන් යුක්ත ද පින් කැමති ජනයා හට පින් කුඹුරක් වන ඒ ආර්ය සංඝ රත්නය ශීර්ෂයෙන් නමදිමි.

පොළොන්නරුපුර විසූ ධර්මකීර්ති හිමියන්ගේ වන්දනා ක්‍රමයක්

විසාරදං වාදපථාතිවත්තිනං

තිලොකපජ්ජොත මසය්හසාභිනං

අසෙස ඤෙය්‍යාවරණප්පහායිනං

නමාමි සත්ථාරමනන්තගොචරං

අඩුවක් නැති සකල ධර්ම සමූහය තත්ත්වාකාරයෙන් දැන සිටින බැවින් කිසිවකු ඉදිරියේ බියක් නැත්තා වූ සකලවාදපථයන් ඉක්මවා සිටින්නා වූ තුන් ලොවට පහනක් වැනි වූ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා නො කළ හැකි දෑ කිරීමෙහි සමත් වූ සකලඥෙය්‍යාවරණයන් ප්‍රහාණය කළා වූ අපරිමිත විෂය ඇත්තා වූ ශාස්තෲන් වහන්සේ නමදිමි.

තිලොකනාථප්පභවං භයාපහං

විසුද්ධවිජ්ජාචරණෙහි සෙවිතං

පපඤ්ච සඤ්ඤොජන බන්ධනච්ඡිදං

නමාමි ධම්මං නිපුණං සුදුද්දසං

තිලෝකනාථයන් වහන්සේගෙන් හටගත්තා වු සකල භයයන් දුරුකරන්නා වූ පරිශුද්ධ විද්‍යචරණ ඇති උත්තමයන් විසින් සෙව්නා ලද්දා වූ ප්‍රපඤ්චයන් හා සංයෝජන බන්ධනයන් සිඳින්නා වූ සූක්ෂම වූ සුදුර්දශ වූ ධර්මරත්නය නමදිමි.

පසාදමත්තෙන පි යත්ථ පාණිනො

ඵුසන්ති දුක්ඛක්ඛය මච්චුතං පදං

තමාහුණෙය්‍යං සුසමාහිතින්ද්‍රියං

නමාමි සංඝං මුනිරාජසාවකං

යම් සංඝ රත්නයක් කෙරෙහි සිතපහදා ගත් පමණකින් ම ද සත්වයෝ සකල දුඃඛයාගේ ක්ෂයය වූ නිර්වාණය ලබත් ද ඉතා දුර සිට වුව ද ප්‍රත්‍යන් ගෙනැවිත් පිදීමට සුදුසු වූ සන්සුන් ඉඳුරන් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වඳිමි.

වේදේහ හිමියන්ගේ වන්දනා ක්‍රමයක්

සතත විහත කිත්තිං ධස්තකන්දප්පදප්පං

හිතවහිතවිධානං සබ්බලොකෙකකෙතුං

අමිතමතිමනග්ඝං සන්තිදං මෙරුසාරං

සුගතමහමුදාරං රූපසාරං නමාමි

නිරන්තරයෙන් පැතිර පවත්නා අරහං ආදී නව පදයකින් සංගෘහිත කීර්ති රාවයක් ඇත්තා වූ කාමදේවයාගේ දර්පය නැසූ කාමරූප අරූප සංඛ්‍යාත ලෝකත්‍රයට යහපත සිදු කරන්නා වූ සකල ලෝකයාට ඒකකේතුවක් වූ අප්‍රමාණ ප්‍රඥා ඇත්තා වූ අනර්ඝ වූ ශාන්තිය ප්‍රදානය කරන්නා වූ මහමෙර සෙයින් සාර වූ උත්තම වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත රූපයෙන් සාර වූ තථාගතයන් වහන්සේ මම වඳිමි.

හතදුරිතතුසාරං මොහපංකොපතාපං

මනකමල විකාසං ජන්තුනං සෙසකානං

කුමුතිකුමුදනාසං බුද්ධපුබ්බාචලග්ගා

උදිත මහමුදාරං ධම්මභානුං නමාමි

පාප නමැති පින්න වියළවා නැසුවා වූ මෝහ නමැති මඩ වගුර වියළ වූ සකල සත්ත්වයන්ගේ සිත් නමැති පියුම් පුබුදු කරන්නා වූ දුර්මත නමැති කුමුදයන් නසන්නා වූ බුදුරජාණන් වහන්සේ නමැති උදය පර්වතයෙන් නැගී එන්නා වූ උත්තම වූ ධර්ම නමැති දිවාකරයා මම වඳිමි.

සකලවිමල සීලං ධූතපාපාරිජාලං

සුරනරමහනීයං පාහුණෙය්‍යාහුණෙය්‍යං

උජුපථපටිපන්නං පුඤ්ඤඛෙත්තං ජනානං

ගනමහමභිවන්දෙ සාදරං සාදරෙන

සෑම අතින් පිරිසිදු වූ ශීලස්කන්ධයක් ඇත්තා වූ පාප නමැති සතුරු සමූහයා පලවා හැරියා වූ දෙව් මිනිසුන් විසින් පිදීමට සුදුසු වූ ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දේ වුව ද දීමට සුදුසු වන්නා වූ දුර සිට ගෙනවුත් වුව ද දීමට සුදුසු වන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාත සෘජු මාර්ගයෙහි ගමන් ගත්තා වූ සත්ත්වයනට පින්කෙත් වූ වැඳුම් පිදුම් කරන්නවුනට සාරඵල දෙන්නා වූ මහා සංඝයා වහන්සේ සාදරයෙන් මම වඳිමි.

සූවිසි මහා ගුණ වන්දනාව

සර්වඥරාජයන් වහන්සේගේ අනන්තාපරිමාණ ගුණස්කන්ධය නව කොටසකට බෙදා අරහං ආදී පද නවයකින් කියනු ලැබේ. එබැවින් බුදුගුණ නවයක් ලෙස සලකනු ලැබේ. ධර්මයේ අනන්ත ගුණස්කන්ධය සකොටසකට බෙදා ස්වාක්ඛාතාදී පද සයකින් කියනු ලැබේ. එබැවින් ධර්ම ගුණ සයක් වශයෙන් සලකනු ලැබේ. සංඝයාගේ අනන්ත ගුණස්කන්ධය නව කොටසකට බෙදා සුපටිපන්නාදි පද නවයකින් කියනු ලැබේ. එබැවින් සංඝ ගුණ නවයකැ යි සලකනු ලැබේ. බුදුගුණ නවය ය. දහම් ගුණ සය ය. සඟ ගුන නවය ය. යන මේවා එක් කළ කල්හි සූවිස්සක් වේ. එයට සූවිසි මහා ගුණය යි කියනු ලැබේ. එයට රත්නත්‍රයේ ගුණ සියල්ල ම ඇතුළත් වේ. සූවිසි මහා ගුණ ගැන තරමක දැනුමක්වත් ඇතිකර ගැනීමට උත්සාහ කරන්න. ඒ ගුණ සූවිස්ස කියමින් ස්තුති කරමින් වැඳීම ඉතාම හොඳ වන්දනා ක්‍රමය ය. මතු දැක්වෙන ඒ වන්දනා ක්‍රමය පාඩම් කරගෙන වන්දනා කිරීම ඉතා හොඳය.

බුද්ධ වන්දනාව

ඉතිපි සො භගවා අරහං, සම්මා සම්බුද්ධො, විජ්ජා චරණ සම්පන්නො, සුගතො, ලෝකවිදු, අනුත්තරො පුරිස ධම්ම සාරථි සත්ථා දේවමනුස්සානං, බුද්ධො, භගවාති, ඉමෙහි නවහි ගුණෙහි සමන්නාගතං සම්මාසම්බුද්ධං සරණං ගච්ඡාමි, සම්මාසම්බුද්ධං සිරසා නමාමි.

  1. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නා වූ සජ්ජනයන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් වීමට හේතු වන ශීල සමාධ්‍යාදී මහා ගුණස්කන්ධයකින් යුක්ත වන බැවින් අර්හත් නම් වන සේක.
  2. අනිකකුගෙන් කිසි උපදේශයක් නො ගෙන ස්වඥාන ශක්තියෙන් ම සකල ධර්ම සමූහය ඇති සැටියට මනා කොට දැන වදාල හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක.
  3. ත්‍රිවිද්‍යා, අෂ්ටවිද්‍යා, පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්ත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  4. දීපංකර පාද මූලයෙහි පටන් සම්‍යක්සම්බෝධි සමධිගමය දක්වා සමත්‍රිංසත් පාරමින් සම්පූර්ණ කිරීම නමැති සම්‍යක්ප්‍රතිපත්තියෙන් සකල ලෝකයාට යහපත සිදු කරමින් කාමසුඛ අත්තකිලමථ යන අන්තයන්ට නො බැස මැනවින් ගමන් කර වදාළ බැවින් සුගත නම් වන සේක.
  5. සකල ලෝකයෙහි සියල්ල සර්වාකාරයෙන් දැන වදාළ හෙයින් ලෝකවිදූ නම් වන සේක.
  6. නො මඟට බැස සිටින තිරශ්චින මනුෂ්‍ය යක්ෂ දේව බ්‍රහ්මයන්ට කිසිදු පීඩාවක් නො කොට දැහැමින් ම දමනය කොට සුමග පිහිටවීමට සමත් තමන් වහන්සේට වැඩි කෙනෙකුන් නැති බැවින් අනුත්තර පුරිසධම්මසාරථි නම් වන සේක.
  7. සකල සත්ත්වයනට දුකින් මිදීම පිණිසත් දෙලොව වැඩ පිණිසත් අනුශාසනා කරන හෙයින් දෙවි මිනිසුන්ට ශාස්තෲ වන සේක.
  8. පරම ගම්භිර චතුස්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් මැනැවින් අවබෝධ කොට අන්‍යන්ට ද ඒ ධර්මය අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වන සේක.
  9. අනන්ත ගුණයෙන් යුක්ත වන බැවින් ද සකල සත්ත්වයනට උත්තම වන බැවින් ද සකල ලෝකවාසීන් ගරු කළ යුතු බැවින් ද භගවා නම් වන සේක.

මේ නව ගුණයෙන් යුක්ත සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ සරණ යෙමි. ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ශීර්ෂයෙන් නමදිමි.

ධර්ම රත්න වන්දනාව

ස්වාක්ඛාතෝ භගවතා ධම්මො, සන්දිට්ඨිකො, අකාලිකො, එහි පස්සිකො, ඕපනයිකො, පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහි. ඉමෙහි ඡහි ගුණෙහි සමන්නාගතං ධම්මරතනං සරණං ගච්ඡාමි. ධම්මරතනං සිරසා නමාමි.

  1. සූත්‍රාභිධර්ම විනය සංඛ්‍යාත පිටකත්‍රය ධර්ම හා සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නව ලෝකෝත්තර ධර්මය ද තථාගතයන් වහන්සේ විසින් මුල මැද අග යන සෑම තැනම යහපත් වන පරිදි මැනැවින් දේශනය කරන ලද්දේ ය.
  2. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන මේ නවලෝකෝත්තර ධර්මය අනුන් කියනු ඇසීමෙන් නොව සම්‍යක් ප්‍රතිපත්තියෙන් තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකි ධර්මයක් වන්නේ ය.
  3. රාගාදී කෙලෙසුන් නසන්නා වූ ද ලෝකෝත්තර නිර්වාණය දක්නා වූ ද සතර මාර්ග ධර්මය ඇති කරගත් තැනැත්තාට කල් නො ගොස් එකෙණෙහි ම ඵලදෙන ධර්මයක් වන්නේය.
  4. මේ නවලෝකෝත්තර ධර්ම රත්නය කාකදන්තාදිය මෙන් සත්‍ය වශයෙන් නැතියක් නොව පරමාර්ථ වශයෙන් ඇතියක් වන බැවින් ද ඔපකළ මිණිරුවනක් සේ සුපරිශුද්ධ ධර්මයක් වන බැවින් ද බියක් නැතිව එව බලව කියා අන්‍යයන්ට පෙන්විය හැකි ධර්මයක් වන්නේය.
  5. මේ අත්‍යුත්තම පරම ශාන්ත නවලෝකෝත්තර ධර්මය හිස ගිනි ගැනීම, හැඳිවත ගිනි ගැනීම වැනි කරුණු ගැන පවා උදාසීනව සිය සිත්සතන්හි පිහිටවා විසීමට සුදුසු ධර්මයක් වන්නේ ය.
  6. මේ නවලෝකෝත්තර ධර්මය අනුන්ගේ කරෙහි ඇති පළඳනාවක් බලන්නාක් මෙන් අන් තැනෙකින් නොව සම්‍යක් ප්‍රතිපත්ති පිරීමෙන් ස්වසන්තානයෙන් ම දැකිය හැකි ධර්මයක් වන්නේ ය.
  7. මේ සවැදෑරුම් ගුණයෙන් යුක්ත වූ ශ්‍රී සද්ධර්ම රත්නය දිවි හිමියෙන් සරණ යෙමි. ඒ ශ්‍රී සද්ධර්ම රත්නය ශීර්ෂයෙන් නමදිමි.

සංඝ වන්දනාව

සුපටිපන්නො භගවතො සාවකසංඝො, උජුපටිපන්නො භගවතො සාවකසංඝො, ඤායපටිපන්නො භගවතො සාවකසංඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො, යදිදංචත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා එස භගවතො සාවක සංඝො ආහුණෙය්‍යො පාහුණෙය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති. ඉමෙහි නවහි ගුණෙහි සමන්නාගතං සංඝරතනං සරණං ගච්ඡාමි. සංඝරතනං සිරසා නමාමි.

  1. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ තීර්ථා ප්‍රතිපත්තීන් සේ නිෂ්ඵල නොවන ඒකාන්තයෙන් නිවනට පමුණුවන යහපත් ප්‍රතිපත්තියක් පුරන සේක.
  2. නිර්වාණය දක්වා සෘජුව පවත්නා ප්‍රතිපත්තියක් පුරන සේක.
  3. නීරවුල් වූ ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් පුරන සේක.
  4. ගරු කළ යුතු ප්‍රතිපත්තියක් පුරන සේක.
  5. පුරුෂයුග්ම වශයෙන් සතරක් වන්නා වූ පුද්ගලයන් වශයෙන් අටදෙනෙක් වන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඉතා දුර සිට ද ප්‍රත්‍ය ගෙනැවිත් පිදීමට සුදුසු වන සේක.
  6. දුරින් පැමිණෙනෙ ප්‍රිය මනාප ඥාති මිත්‍රයන් සඳහා පිළියෙල කළ ආගන්තුක භෝජනය වුවද පිළිගැනීමට සුදුසු වන සේක.
  7. පරලොව දී ඵල ලැබීම සඳහා දෙන දානය පිළිගැනීමට සුදුසු වන සේක.
  8. ලෝකවාසීන් විසින් නමස්කාර කිරීමට සුදුසු වන සේක.
  9. පූජාවන් මහත්ඵල කිරීමට සමත්වන ශීලාදී ගුණයන්ගෙන් යුක්ත වන බැවින් අනුත්තර පුණ්‍ය ක්ෂේත්‍රය වන සේක.

මේ ගුණ නවයෙන් යුක්ත වූ කල්‍යාණ පෘතග්ජන සංඝයා සහිත වූ අෂ්ටාර්යපුද්ගල සංඝරත්නය සරණ යෙමි. ඒ සංඝරත්නය ශීර්ෂයෙන් වඳිමි.

අටවිසි බුදුවරුන් වැඳීම

වන්දෙ තණ්හංකරං බුද්ධං -වන්දෙ මෙධංකරං මුනිං

සරණංකරං මුනිං වන්දෙ - වන්දෙ දීපංකරං මුනිං

-

වන්දෙ කොණ්ඩඤ්ඤ සත්ථාරං - වන්දෙ මංගල නායකං

වන්දෙ සුමන සම්බුද්ධං - වන්දෙ රෙවත නායකං

-

වන්දෙ සොභිත සම්බුද්ධං - අනෝමදස්සි මුනිං නමෙ

වන්දෙ පදුම සම්බුද්ධං - වන්දෙ නාරද නායකං

-

පදුමුත්තර මුනිං වන්දෙ - වන්දෙ සුමෙධ නායකං

වන්දෙ සුජාත සම්බුද්ධං - පියදස්සි මුනිං නමෙ

-

අත්ථදස්සි මුනිං වන්දෙ - ධම්මදස්සිං ජිනං නමෙ

වන්දෙ සිද්ධත්ථ සත්ථාරං - වන්දෙ තිස්ස මහාමුනිං

-

වන්දෙ ඵුස්ස මහාවීරං - වන්දෙ විපස්සි නායකං

සිඛී මහාමුනිං වන්දෙ - වන්දෙ වෙස්සභු නායකං

-

කකුසන්දං මුනිං වන්දෙ - වන්දෙ කොණාගම නායකං

කස්සපං සුගතං වන්දෙ - වන්දෙ ගොතම නායකං

-

අට්ඨවීසති මෙ බුද්ධා - නිබ්බානමතදායකා

නමාමි සිරසා නිච්චං - තෙ මං රක්ඛන්තු සබ්බදා

මෙය වන්දනාවක් වශයෙන් හා ආරක්ෂක පිරිතක් වශයෙන් ද භාවිත කිරීමට සුදුසු ය.

විශේෂ වන්දනා ක්‍රම

අල්ප පූජාවක් කළ කෙනෙකුට වුව ද ගෞරවය පමණක් කළ කෙනෙකුට වුව ද සිත පහදා ගැනීම පමණක් කළ කෙනෙකුට වුව ද එයින් මහත් අනුසසක් දෙන, මෙසේය කියා සිතා ගත නො හෙන පුදුම බලයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇත්තේ ය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සැදැහැයෙන් වැඳුම් පිදුම් කිරීමෙන් මෙලොවදී ම බොහෝ අනුසස් ලැබිය හැකිය. මෙලොවදී බලපොරොත්තු වන සෑම දෙයක් ම වැඳීමෙන් ලබා ගත හැකිය කියා ද නො සිතිය යුතුය. මෙලොවදී ඒ ඒ අනුසස් බලාපොරොත්තු වන්නවුන් විසින් ඒ ඒ අනුසස් ලැබීමට හේතු වන බුද්ධ ගුණයන් කීර්තනය කර බුදුරදුන්ට ස්තුති කොට බැතියෙන් වැඳීම කළ යුතුය.

ශිෂ්‍යයෙකුට ප්‍රධාන වශයෙන් උවමනා කරන්නේ දියුණු තියුණු නුවණය. බුදුරජාණන් වහන්සේගේ ඥානය වර්ණනා කෙරෙමින් ස්තුති කෙරෙමින් වන්දනා කරන තැනැත්තාගේ ඥානය දියුණු වේ. එය එක වරක් දෙවරක් කිරීමෙන් සිදුවෙතැයි ද නො සිතනු. දිනපතා කලක් බුද්ධඥානය වර්ණනා කරමින් වඳින කල්හි ක්‍රමයෙන් ඒ තැනැත්තාගේ සම්මෝහය තුනී වේ. නුවණ තියුණු වේ. එසේ වන්දනා කරන්නට පුරුදු කර ගැනීමට ශිෂ්‍යයනට ඉතා ප්‍රයෝජනය. එසේ කරන ශිෂ්‍යයාට ඉගෙනීමේ ශක්තිය ලැබේ.

ආචාර්යවරයනට වුවමනා ශිෂ්‍යයන් කීකරු කර ගැනීමේ ශක්තිය හා කාරණය ඔවුනට අවබෝධ කරවීමේ - ඔවුන්ගේ සිත්වල පිහිටවීමේ ශක්තිය ය. අනුත්තර පුරුෂධම්ම සාරථි ගුණය හා බුද්ධ ගුණය කියා බුදුරදුන්ට ස්තුති කර වැඳීමෙන් එය දියුණු කරගත හැකිය. බුද්ධ ගුණය යනු ගම්භීර ධර්මය අවබෝධ කර ගැනීමේ ද අන්‍යන්ට අවබෝධ කරවීමේ ද ශක්තිය ය.

යම් යම් ආයතන පාලනය කරන පිරිස්වල ප්‍රධානීන්ට හා දේශපාලකයන්ට තිබියයුතු ජනයා කීකරු කර ගැනීමේ ශක්තිය හා අනුශාසනා කිරීමේ ශක්තිය පුරුෂධම්ම සාරථි ගුණය හා ශාස්තෲ ගුණය කියා ස්තුති කොට වැඳීමෙන් දියුණු කරගත හැකිය. මේ ශක්ති දෙක ධර්ම දේශකයන්ට ද වුවමනා කරුණු දෙකකි.

අනාදිමත් කාලයක පටන් සත්ත්වයන් කෙරෙහි පවත්නා වූ රාගද්වෙෂමෝහාදී ක්ලේශරෝගයන් ධර්ම ඖෂධයෙන් සුව කොට ඔවුන් සැපයට පමුණුවන්නා වූ මහා වෛද්‍යවරයාණෝ තථාගතයන් වහන්සේ ය. ඒ වෛද්‍ය භාවය වර්ණනා කරමින් ස්තුති කොට බුදුරදුන්ට වැඳුම් පිදුම් කිරීමෙන් වෛද්‍යයන්ට රෝග සුව කිරීමේ ශක්තිය දියුණු කර ගත හැකිය.

ලෝකයෙහි ඇතැම්හු කිසිදු වෙහෙසක් නො වී ලෙහෙසියෙන් ධනවත් වෙති. ඇතැම්හු බොහෝ වෙහෙසී රැකියා කොට ධනවත් වෙති. ඇතැම්හු බොහෝ වෙහෙසුන ද ධනවත් නො වෙති. ඔවුන් වෙහෙසී ධනය සපයා ගතුදු ඒ ධනය ඔවුන් කෙරෙහි නො පිහිටා අතුරුදහන් වෙයි. මිනිසුන්ගේ මේ නානත්වය ඔවුන්ට ඇති ධනය හිමිවිමේ භාග්‍යය අනුව සිදුවන්නකි. ධනය ලැබීමේ භාග්‍යය අධිකව ඇති තැනැත්තේ නො වෙහෙසීම ධනවත් වෙයි. කෙසේ හෝ ඔහු කරා ධනය පැමිණේ. භාග්‍යය මඳ තැනැත්තාට වෙහෙසී ධනය ලබන්නට සිදු වේ. භාග්‍යය ඉතාම හීන තැනැත්තාට වෙහෙසී වුව ද ධනය ලැබීමට දුෂ්කර වේ. අමාරුවෙන් සපයන ධනය ද ඔහු කෙරෙහි නො පිහිටා කුමණ විපතකින් හෝ නැති වෙයි. තථාගතයන් වහන්සේගේ අරහං ගුණය වර්ණනා කර ස්තුති කරමින් බුදුරදුන් වැඳීමෙන් ධනය ලැබීමේ වාසනාව දියුණු වේ. ධනය සොයන ඒ සඳහා රැකියාවන්හි යෙදී සිටින, රැකියා සොයමින් තැවෙන අයට ධනය ලැබීමේ වාසනාව දියුණු වීම සඳහා අර්හත් ගුණයෙන් ස්තුති කොට වන්දනා කිරීම යහපති.

සීවලී මහරහතන් වහන්සේ මහා ලාභී වන බැවින් බොහෝ දෙනා ලාභ පතා උන්වහන්සේට වැඳුම් පිදුම් කරති. රහතන් වහන්සේ කෙනෙකුට වැඳුම් පිදුම් කරතහොත් එසේ කරන්නහුගේ ප්‍රාර්ථනාව සිද්ධවිය හැකිය. සීවලී රහතන් වහන්සේ ශ්‍රාවකයන් ඇතුරෙන් අග්‍රලාභී වුව ද බුදුරජාණන් වහන්සේ තරම් ලාභි නො වෙති. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි රැස්කළ මහා පුණ්‍යස්කන්ධයක් බුදුරජාණන් වහන්සේට ඇත්තේ ය. ඒ මහා පුණ්‍යස්කන්ධය සසඳහොත් සීවලී තෙරුන් වහන්සේගේ පින ඉතා සුළුය. බුදුරදුන්ගේ පින මහමෙර පමණ යයි කියතහොත් සීවලී තෙරුන් වහන්සේගේ පින බටු ගෙඩියක් පුවක් ගෙඩියක් තරම් යයි කිව යුතුය. ලාභියකුට වැඳුම් පිදුම් කිරීමෙන් ලාභ ලැබෙත හොත් වඩා ලාභ ලැබිය යුත්තේ බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමෙනි. වඩා උසස් පිනක් ලැබෙන්නේ ද බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමෙනි.

බුදුරජාණන් වහන්සේගේ ශිල සමාදි ප්‍රඥාවන් හා සතිපට්ඨාන සම්‍යක් ප්‍රධාන සෘධිපාද ඉන්ද්‍රිය බල බෝධ්‍යංග මාර්ගාංග චතුරාර්ය සත්‍ය ප්‍රතීත්‍ය සමුත්පාද ධ්‍යාන මාර්ගඵල ධර්මයන් ගේ වශයෙන් ගුණ වර්ණනා කරමින් ස්තුති පූජා කොට වැඳීම යෝගාවචරයන්ට ප්‍රයෝජනවත් ය.

ශිෂ්‍යයන්ට සුදුසු වන්දනා ක්‍රමයක්

“උදයායස්ස එකස්ස සද්ධම්මරංසි ජාලිනො,

පබුජ්ඣිංසු ජනම්බුජා ජාතික්ඛෙත්තෙ මහාසරෙ

වන්දාමි තං මහා සූරං මහාමෝහතමෝනුදං,

සඤ්ජාතං සො හදෙ මය්හං තමෝක්ඛන්ධං පනූදනං”

(පරමත්ථදීපනියෙන්)

“ශ්‍රී සද්ධර්ම සංඛ්‍යාත රශ්මිජාලා ඇත්තා වූ යම් අසහාය සූර්යයකු උදාවීමෙන් ජාතික්ෂේත්‍ර සංඛ්‍යාත මහා විලෙහි විනේයජන නැමැති පද්මයෝ ප්‍රබොධ වූවාහු ද, මහත් වූ මෝහාන්ධකාරය දුරු කරන්නා වූ ඒ මහා සූර්යාණන් වහන්සේ වඳිමි. උන්වහන්සේ මාගේ හෘදයෙහි පවත්නා මෝහස්කන්ධය දුරු කෙරෙත්වා.”

නුවණ වැඩීමට හේතු වන තවත් වන්දනා ක්‍රමයක්

“මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍යකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුශල බලයෙන් පස් මරුන් පරදවා ලොවුතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත් වූ පරිදි දැන වදාළ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇති සේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදුක් ඇති අනේක සත්ත්වයන් දක්නා නුවණ ඇති සේක. කුශලාකුශල කර්මයන් ගේ විපාක දක්නා නුවණ ඇති සේක. සිවුමන්සලක බලා සිටින්නකු ඒ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් ඒ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්ත්වයන් දක්නා නුවණ ඇති සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇති සේක. උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාලෝකයෙන් සත්ත්වසන්තානගත මෝහන්ධකාරය දුරුකරන හෙයින් තුන් ලොවට අසහාය ප්‍රදීපයක් වන සේක. සකල සත්ත්වයනට සඟමොක් මග දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වන සේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යෙමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස මාගේ මනසට ද ඥානාලෝකය පතුරුවන සේක්වා!”

ඔබ නුවණ දියුණු කර ගනු කැමැති නම් මේ වාක්‍ය කියා දිනපතා බුදුන් වඳින්න. සැමදා නො කළ හැකි වුව ද වැඩි ගණනක් දිනවල වන්දනා කරනු. ක්‍රමයෙන් ඔබේ නුවණ දියුණු වනු ඇත. මෙබඳු ක්‍රියාවලින් ගුණ ලැබෙන්නේ සෙමිනි. ඉක්මන් නො වෙනු. වර්ෂයෙන් වර්ෂයට මෙහි ගුණ ඔබට දැනෙනු ඇත. මතු දැක්වෙන වන්දනා ක්‍රමවලින් ගුණ ලැබීම කියයුත්තේ ද එසේම ය.

පාලනශක්ති අනුශාසනා ශක්ති අවබෝධ කරවීමේ ශක්ති ලැබීමේ වන්දනා ක්‍රමයක්

“මේ කපට චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයකින් අතීතයේ ලොව පහළ වී වදාළා වූ දීපංකර බුදුරජාණන් වහන්සේ ගැන මම ද මුන්වහන්සේ මෙන් ම ලොවුතුරා බුදුබවට පැමිණ සසර සයුරින් එතෙරව බොහෝ සත්ත්වයන් එතෙර කරවන්නෙමිය යන උදාරාධ්‍යාශයෙන් අතට පත් නිවන හැර සසර සයුරට බැස නොයෙක් දුක් ගෙන බුද්ධකාරක ධර්මයන් සපුරා පස්මරුන් පරදවා සර්වඥපදප්‍රාප්තවූ අසරණ සරණ වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෝහයෙන් මූඪව මානයෙන් මත්ව නොමග යන බොහෝ ජනයා දමනය කොට සසර සයුරෙන් එතෙර කර වූ සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය කිරීමට අතිශයින් දුෂ්කර නන්දෝපනන්ද, නාලාගිරි, ආලවක, අංගුලිමාල ප්‍රචණ්ඩයන් ද, අතිශයින් උඩඟු සච්චක බක බ්‍රහ්මාදීන් ද කිසිඳු හිංසාවක් නොකොට ම දමනය කළ බැවින් අදම්‍යන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර වූ සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුල මැද අග යන තුන් තැන ම යහපත් වූ සර්වාංග සම්පූර්ණ වූ පිරිසිදු වූ ධර්මයකින් දෙවියන් සහිත ලෝකයා හට මෙලොව යහපත හා පරලොව යහපත පිණිස ද නිවන් පිණිස ද අනුශාසනා කරන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරමගම්භීර චතුස්සත්‍ය ධර්මය දෙව් මිනිසුන්ට අවබෝධ කරවා සතර මග සතර ඵලයන්ට පමුණුවා ඔවුන් සංසාර සාගරයෙන් එතෙර කරවන සේක. අදම්‍යයන් දමනය කරන්නා වූ ලොවට අනුශාසනා කරන්නා වූ පරම ගම්භීර ධර්මය අවබෝධ කරවන්නා වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යෙමි. උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

මෙසේ තථාගතයන් වහන්සේගේ අනුත්තර පුරුෂදම්‍ය ගුණය හා ශාස්තෲ ගුණය වූ බුද්ධගුණ කියා වැඳීමෙන් පිරිසක් පාලනය කර ගැනීමේ ශක්තිය හා සිත් කා වදින පරිදි අනුශාසනා කිරීමේ ශක්තිය ද දියුණු කර ගත හැකිය. මේ වන්දනා ක්‍රමය ආචාර්යවරයන්ටත් පිරිස්වල ප්‍රධානීන්ටත් අනුශාසකයන්ටත් දේශපාලකයන්ටත් ප්‍රයෝජනවත්ය.

වස්තුව ලැබීමේ භාග්‍ය දියුණු වීමට හේතුවන වන්දනා ක්‍රමයක්

“වන්දනේයාති වන්දනේය වූ පූජනීයාති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්පකෝටිශතසහශ්‍රයෙහි රැස්කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සම්‍යක් සම්බෝධි සමධිගමයෙන් ලෝකයෙහි අග්‍රදක්ෂිණේය භාවයට පැමිණ වදාළ සේක. ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වඳින්නකුට ද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වන සේක. එබැවින් උන්වහන්සේට පුදනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නාක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදිහු පැමිණියහ. දිව්‍යබ්‍රහ්මයෝ පැමිණියහ. නාගයක්ෂයෝ පැමිණියහ. අනුන්ගෙන් නොයෙක් පුදපඬුරු ලබන නර රාජ දේවරාජ බ්‍රහ්මරාජයෝ උන්වහන්සේ පුදන්නට පැමිණියහ. පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අද ද උන්වහන්සේට පුදන මල් පහන් ආහාර පාන බොහෝ ය. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රය වාසී සැමදෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු ඒ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යෙමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමී. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යාදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.”

මෙසේ බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය කියා වැඳීම ධනය ලැබීමේ වාසනාව දියුණු වීමට හේතු වේ. මෙසේ සැදැහැයෙන් බුදුරජාණන් වහන්සේ ට වැඳුම් පිදුම් කරන පින්වතාට වර්ෂයෙන් වර්ෂය තමාගේ තත්ත්වය පෙරට වඩා යහපත් වන බව දැකිය හැකි වනු ඇත. රැකියා කරන අයටත් රැකියාවක් නැතිව තැවෙන අයටත් මේ වන්දනා ක්‍රමය සුදුසු ය.

රෝග සුව කිරීමේ ශක්තිය ලැබීමට වෛද්‍යවරුන්ට වන්දනා ක්‍රමයක්

“අනේක කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ත්ව සමූහයා වෙත පතළා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සව්කෙලෙසුන් නසා සර්වඥපදප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසිකලෙක නූපදනා පරිදි සුව කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝ ය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්ත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි මානාදී සුව කිරීමට අතිශයින් දුෂ්කර ක්ලේශ රෝගයන්, සතර සතිපට්ඨානයෝ ය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර සෘද්ධිපාදයෝය, පඤ්චේන්ද්‍රියයෝය, පඤ්චබලයෝය, සප්තබොධ්‍යංගයෝය, අෂ්ටමාර්ගාංගයෝය යන ධර්මෞෂධයන් ගෙන් සුව කරන සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි අන් කිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමුක්කංසික චතුරාර්ය සත්‍යය දේශනය නමැති අමා ඔසුවෙන් සූවිසි අසංඛ්‍යයක් සත්ත්වයන්ගේ කෙලෙස් රෝග නැසූ සේක. දුක් ගිනි නැසූ සේක.

මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රයෙහි සැමට වෛද්‍ය වූ සව් සතුන්ටම පිහිට වන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට නමස්කාර කරමි. මතු නූපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියළු දුක් ගිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණ යෙමි. මම ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා වූ සියළු කෙලෙස් රෝග නසන්නා වූ සියළු දුක් නසන්නා වූ සපයර්යාප්තික නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයට ද මාගේ නමස්කාරය වේවා!

ඒ සද්ධර්මසංඛ්‍යත ඖෂධරත්නය සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සන්සිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නයට ද මාගේ නමස්කාරය වේවා!

මේ වන්දනා ක්‍රමය භාවිත කිරීමෙන් වෛද්‍යවරයන්ට විශේෂයෙන් වුවමනා අත් ගුණය නම් වූ රෝගව්‍යපශමන ශක්තිය ලැබිය හැකිය. දියුණු කරගත හැකි ය. සෑම උදයකම මේ වාක්‍ය කියා තෙරුවන් වැඳ මල් පහන් පුදා වෛද්‍ය කටයුතු ආරම්භ කරන වෛද්‍යවරයා ඒකාන්තයෙන් දියුණුවට පැමිණෙනු ඇත.

වන්දනාවෙන් ගුණ ලැබීම

සුවඳ ද්‍රව්‍ය ඉවත් කළ අල්මාරියකට පෙට්ටියකට මුහුණ පා බැලුවහොත් සුවඳ ද්‍රව්‍ය නැත ද එහි සුවඳ දැනෙනු ඇත. එයට හේතුව කලින් තිබූ ද්‍රව්‍යයේ සුවඳ අල්මාරියට පෙට්ටියට කාවැදී රැඳීම ය. එමෙන් යම් කිසිවකු සැදැහැයෙන් තථාගතයන් වහන්සේගේ යම්කිසි ගුණයක් සිතුව හොත් කියුව හොත් ඒ ගුණය ස්වල්ප වශයෙන් ඔහුගේ සිරුරට කා වැදී රැඳෙයි. ඉතා ස්වල්ප වශයෙන් කා වැදී රැඳෙන ඒ ගුණ තේරුම් ගත හැකි පමණට ඇතිවීමටත් කලක් ගත වේ. එය උදලු මිට ඔප දැමීම මෙන් සෙමින් සිදුවන්නකි. වැඩ කරන උදැල්ලේ මිට දිනපතා ම කම්කරුවාගේ අතට මඳින් මඳ ගෙවේ. එයින් උදලු මිට ඔප වැටේ. අතට ගෙවීමෙන් ඇතිවන ඔපය දැකිය හැකි තරමට පත්වීමට බොහෝ කල් ගත වේ. සතියක් දෙකක් මසක් දෙකක් වැඩ කිරීමන් උදලු මිටෙහි අමුත්තක් නොදැනේ. මාස හත අටක් වැඩ කළ කල්හි උදලු මිටෙහි පෙනෙන ඔප මට්ටමක් ඇති වේ. එමෙන් දින ගණනක් වැඳීම කළ පමණින් තේරුම් ගත හැකි තරමේ ගුණයක් ඇති නො වේ. වර්ෂයක් පමණ යම් කිසි වන්දනා ක්‍රමයක් භාවිත කළාම දැනෙන තරමට ගුණය ඇතිවනු ඇත. වන්දනා ක්‍රමවලින් ලැබෙතැයි කියන ගුණය ලැබී ඇති නැති බව විමසිය යුත්තේ මාස ගණනින් නොව වර්ෂ ගණනිනි. අත් නොහැර යම්කිසි වන්දනා ක්‍රමයක් භාවිත කරන තැනැත්තාට එයින් ලැබෙන ගුණය වර්ෂයෙන් වර්ෂය විමසා බැලුව හොත් තේරුම් ගත හැකි වනු ඇත. වන්දනාවෙන් කියන ලද ගුණ ලැබෙන්නේ එය සැදැහැයෙන් එය කරන තැනැත්තාට ය. සැදැහැයෙන් කිරීම යයි කියනුයේ තමා සිතන කියන ඒ බුදුගුණ බුදුරදුන් කෙරෙහි ඇති බව අවංකව පිළිගැනීම අනුව කර්මය හා කර්මඵලය ඇති බව පිළිගැනීම ඇතිව වන්දනා කිරීමය. ශ්‍රද්ධාවෙන් තොරව අත්හදා බැලීමට කිරීමෙන් ගුණ නො ලැබේ. පින්වල විපාකය එක්තරා ප්‍රමාණයකින් මෙලොවදී ම ලැබේ. බුදුරදුන්ට වැඳුම් පිදුම් කිරීම උසස් පිනකි. ඒ පින මෙලොව තමා බලාපොරොත්තුවන දෙය ලබා දීමටද සමර්ථය. ඒ නිසා වන්දනා කරන තැනැත්තා බලාපොරොත්තුවන ගුණය ඔහුට ඒ පිනේ බලයෙන් ම ලැබෙන බව කියයුතුය.

යෝගාවචරයන්ට වන්දනා ක්‍රමයක්

අවිද්‍යාන්ධකාරයෙන් වැසී ඇති තණ්හා නැමැති මඩගොහොරුවෙහි එරී සසර දුක් විඳිනා අසරණ සත්ත්වයනට පිහිටවනු පිණිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම් දම් පුරමින් ආ අප මහ බෝසතාණන් වහන්සේ ලොවුතුරා බුදුබව ලබන අන්තිම ජාතියේ මහබිනික්මන් කොට සවසරක් දුෂ්කර ක්‍රියා කොට අවසානයේ එක් වෙසඟ මැදි පෝය දිනයක සවස් කාලයේ බෝධිදෘම මූලයට එළඹ ශරීරයේ ලේ මස් වියළී ගොස් සම හා ඇට නහර පමණක් ඉතිරි වුව ද ලොවුතුරා බුදු නොවී මේ අස්නෙන් නො නැගෙමිය යන දෘඪතර අධිෂ්ඨානටෙන් පළඟක් බැඳ එහි වැඩ සිට බාධා කිරීමට පැමිණි වසවත් මරු පළවා හැර සමාධි භාවනාවෙහි යෙදුණාහු රාත්‍රියේ ප්‍රථම යාමයේදී ම රූපාවචර අරූපාවචර අෂ්ට සමාපත්තීන් උපදවා පිරිසිදු කර ගත් සිත තමන් වහන්සේගේ අතීත ජාතිවලට යොමු කොට අනේක කල්ප කෝටි ශතසහස්‍රයෙහි විසූ තමන් වහන්සේගේ අතීත ජාති පිළිවෙල බලමින් ප්‍රථම යාමය ගෙවා මධ්‍යම යාමයේදී උපදින මැරෙන සත්ත්වයන් දෙසට සිත යොමු කොට ලෝකයෙහි මැරෙන්නා වූ ද කර්මානුරූපව සුගති දුර්ගති දෙක්හි ඉපිද අනේකාකාර සුවදුක් ලබන්නා වූ ද සත්ත්වයන් බලමින් ඒ යාමය ඉක්මවා රාත්‍රියේ පශ්චිම යාමයේ මැරෙන උපදින සත්ත්වයන්ගේ සංසාර ප්‍රවෘත්ති හේතුන් සොයන සේක්. ද්වදශාංශ ප්‍රතීත්‍යසමුත්පාදය දැක එය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරමින් සිට සංසාර චක්‍රය සිඳ නිවනට පැමිණෙනු වස් රූපාවචර චතූර්ථධ්‍යානයට සමවැදී ඉන් නැගී උදයව්‍යයඥානයේ පටන් ක්‍රමයෙන් විදර්ශනාඥාන උපදවා දුඃඛ සමුදය නිරෝධ මාර්ග සංඛ්‍යාත චතුරාර්යසත්‍යයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක සවසනා සකලක්ලේශයන් ප්‍රහාණය කරන්නා වූ අර්හත් මාර්ගඥානය උපදවා දශබල ඥාන, චතුර්වෛශාරද්‍ය ඥාන, සර්වඥතාඥානාදී අනේක ගුණයෙන් යුක්ත වන ලොවුතුරා බුදුබවට පැමිණ වදාළ සේක.

මහා කාරුණික වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ලත් නිවන් සුවය සෙස්සන්ට ලබා දෙනු සඳහා විතර්ක විචාර සහිත වූ ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යාන සමාපත්තිය උපදවා ගැනීමේ මාර්ගය ද, විතර්ක විචාර විරහිත ප්‍රීතිය හා සුඛය පමණක් ඇති ද්විතීයධ්‍යාන සමාපත්තිය උපදවා ගැනීමේ මාර්ගය ද, ප්‍රීතියද ප්‍රහාණය කොට ලබන ප්‍රීති සුඛය ඇති තෘතීයධ්‍යාන සමාධිය උපදවා ගැනීමේ මාර්ගය ද, ප්‍රීති සුඛ දෙකෙන්ම තොර වූ චතූර්ථධ්‍යාන සමාධිය උපදවා ගැනීමේ මාර්ගය ද, ආකාසානඤ්චායතනාදී සතර අරූපාවචර සමාපත්ති උපදවා ගැනීමේ මාර්ගය ද, සෘද්ධිවිධාදි පඤ්චාභිඥා උපදවා ගැනීමේ මාර්ගය ද, දේශනා කළ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිවනට පැමිණීමේ නොවරදින මාර්ගය වන සතර සත්පට්ඨානයෝය, සතර සම්‍යක්ප්‍රධානයෝය, සතර සෘද්ධිපාදයෝය, පඤ්චේන්ද්‍රියෝය, පඤ්චබලයෝය, සප්තබොධ්‍යාංගයෝය, අෂ්ටමාර්ගාංගයෝය, යන සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් දක්වා වදාළ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පඤ්චස්කන්ධය සත්ත්ව පුද්ගලයන් වශයෙන් වරදවා තේරුම් ගෙන මුළා වී සිටින ජනයා හට රූප වේදනා සංඥා සංස්කාර විඥානයන් පමණක් සත්‍ය වශයෙන් ඇති බවත් රූපාදිය මිස සත්‍ය වශයෙන් ලැබෙන සත්ත්වයෙකු නැති බවත් පහදා වදාළ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවෙන් අන්ධව නාම රූපයන් නිත්‍ය ශුභ සුඛ ආත්ම වශයෙන් වරදවා තේරුම් ගෙන සිටින ජනයාට නාම රූපයන් අනිත්‍ය බව දුක් බව ආත්ම නො වන බව පහදා වදාළ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුකය, දුක ඇතිවීමේ හේතුවය, සැබෑ සැපය, එයට පැමිණීමේ මාර්ගය ය යන මේ කරුණු සතර අවබෝධ නො වීමෙන් සසර රැඳී සිටින සත්ත්වයනට මේ උපාදානස්කන්ධ පඤ්චකය දුක බවත්, ඒ දුක ඇති වීමේ හේතුව තණ්හාව බවත් සැබෑ සැපය ඒ තණ්හාවගේ නිරෝධය බවත්, එයට පැමිණීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් පහදා වදාළ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගත් බොහෝ සත්පුරුෂයෝ රූප වේදනාදී සංස්කාරයන්ගේ ලක්ෂණ රසාදිය දක්නා නුවණද, ඒවායේ අනිත්‍යාදී ලක්ෂණ දක්නා නුවණද, උතුරන බත් සැළියක පෙණ මතු වෙවී බිඳී යන්නාක් මෙන් මේ සිරුරෙහි නැවැත්මක් නැතිව සංස්කාරයන් ඉපිද ඉපිද බිඳි බිඳී යන සැටි දක්නා උදයඛ්ඛ්‍යානුපස්සනා ඤාණය ද, මේ සිරුරෙහි අතරක් නැතිව සිදුවන සංස්කාරයන්ගේ බිඳීම් දක්නා භංගානුපස්සනා ඤාණය ද, නිතර බිඳෙන සංස්කාරයන් භයානකත්වයෙන් දක්නා භයතුපට්ඨාන ඤාණය ද, බිඳි බිඳී යන සංස්කාරයන්ගේ අසරණ බව දක්නා ආදීනවානුපස්සනා ඤාණය ද, පිළිසරණක් නැති ඒ සංස්කාරයන් හර නැති අමිහිරි ධර්මයන් ලෙස දක්නා නිබ්බිදානුපස්සනා ඤාණය ද, නීරස නිසරු ඒ සංස්කාරයන්ගෙන් මිදෙනු කැමති බවින් යුතු යයි සංස්කාරයන් දක්නා මුඤ්චිතුකම්‍යතා ඤානය ද, මිදීමේ උපාය වශයෙන් සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණයන් විස්තර වශයෙන් නැවත නැවත බලන්නා වූ පටිසංඛාරුපස්සනා ඤානය ද, කිසිදු වෙහෙසක් නැතිව නිරුත්සාහයෙන් මෙන් සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණ මැනවින් දක්නා සංඛාරුපෙක්ඛා ඤානය ද, සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණයන් ඇසින් දක්නාක් මෙන් පිරිසිදු ලෙස දක්නා වූ ලෝකෝත්තර මාර්ගය ඉපදවීමට සමත් වන්නා වූ අනුලෝම ඤානය ද, යන මේ ඤානයන් උපදවා සෝවාන් සකෘදාගාමී අනාගාමි අර්හත් යන සතර මාර්ග සතර ඵලයන්ට පැමිණ දුක් කෙළවර කොට පරමසුඛය වූ අමෘත මහා නිර්වාණයට පැමිණෙන්නා හ.

අසරණ සත්ත්වයන් සසර සයුරෙන් ගොඩ නගා මොක්පුර පිහිටවන්නාවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම සරණ යෙමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුවළ අත්‍යාදර ගෞරවයෙන් වඳිමි.

ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සත්ත්වයන් සසර කතරින් එතෙර කරවන්නා වූ ශ්‍රී සද්ධර්මයට ද වඳිමි. ඒ නෛර්යාණික ධර්මය සේවනය කරන්නා වූ ද ප්‍රකාශ කරන්නා වූ ද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට ද වඳිමි.

මෙසේ අත්‍යුත්තම බුද්ධාදී රත්නත්‍රයට බැතියෙන් නැමදීම් වශයෙන් රැසකළ කුශල බලයෙන් සගමොක් මග වසන කාමච්ඡන්දාදී නීවරණයෝ මා කෙරෙන් බැහැර වෙත්වා. මාගේ සිත සමාධි වේවා. මාගේ සිහි නුවණ දියුණු තියුණු වේවා. දුඃඛ සමුදය නිරෝධ මාර්ග සංඛ්‍යාත චතුරාර්ය සත්‍යධර්මය මා හට අවබෝධ වේවා. නිවන් පුරයට වහා පැමිණිය හැකිවේවා.

මේ වන්දනා ක්‍රමය යෝගාවචරයෙකුට යෝග සිද්ධිය සඳහා වුවමනා බල ලැබීමට හේතු වන පරිදි පිළියෙල කරන ලද්දකි. සසර දුකින් මිදීමේ අදහසින් අවංකව යෝග කර්මයට බැස සිටින ගිහි පැවිදි කා හටත් මෙය භාවිත කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනු ඇත. යෝගාවචරයෙකු විසින් දැන සිටියයුතු වූ ද සිහි කළ යුතු වූ ද කරුණු රාශියක් මේ වන්දනාවට ඇතුළත් වී ඇත. මෙය දික් වැඩකිය කියා නො පසු බැස පාඩම් කර වන්දනා කරනු.

බෞද්ධ ආරක්ෂා විධි

රතන සූත්‍රයේ නිධාන කථාව

පෙර දඹදිව වේසාලි නම් ඉතා සමෘද්ධිමත් නගරයක් විය. එහි රජවරු සත්දහස් සත්සිය සත්දෙනෙක් විසූහ. එපමණ ම යුවරජ ඇමති භාණ්ඩාගාරිකාහු ද විසූහ. බොහෝ මනුෂ්‍යයෝ ද විසූහ. සත්දහස් සත්සිය සතක් ප්‍රාසාද ද එපමණම කූටාගාර උයන් පොකුණු ද විය. එක් කලෙක ඒ නගරයට වැසි නො ලැබිණ. ගොවිතැන් පාළු විය. ආහාර හිඟයක් විය. සෑහෙන පමණට ආහාර නො ලැබීමෙන් බොහෝ දෙනා රෝගාතුර වූහ. දුප්පත්තු මැරෙන්නට වූහ. මළමිනී නගරය සමීපයේ ම දැමීම නිසා නගරයේ කුණප ගන්ධය පැතිරිණ. ඒ හේතුවෙන් බොහෝ අමනුෂ්‍යයෝ නගරයට ඇතුළු වූහ. එයින් වඩාත් මිනිස්සු මැරෙන්නට වූහ. අහිවාතක නම් වූ නපුරු රෝගයක් ද නගරයෙහි පැතිරිණ. රෝගභය අමනුෂ්‍ය භය දුර්භික්ෂ භය යන තුනෙන් නගරය විනාශ වන්නට විය.

නගර වැසියෝ රජු වෙත ගොස් දේවයන් වහන්ස දැන් මේ නගරය රෝග භය අමනුෂ්‍ය භය දුර්භික්ෂ භය යන උවදුරු තුනෙන් විනාශ වේගෙන යන්නේ ය. පෙර රජවරුන්ගේ කාලවලදී මෙබඳු විපතක් නො වීය. ඔබ වහන්සේගේ අධාර්මිකත්වය නිසා මේ විපත පැමිණියහ යි සිතම්හ යි කීහ. රජතුමා තමා අතින් සිදුවූ කිසි වරදක් නො දැක සන්ථාගාරයට ජනයා රැස් කරවා මාගේ අදමිටු කමක් ඇතිවේදැ යි විමසන්නට විය. මහජනයා ද රජුගේ වරදක් නුදුටූහ. රජුගේ දෝෂයක් නො දක්නා වූ ඔවූහු මේ විපත සන්සිඳවන්නේ කෙසේදැ යි කථා කළහ. එකල පූරණ කාශ්‍යපය, මක්ඛලීගෝසාලය, අජිතකේශකම්බලය, පකුධකච්චායනය, නිගන්ඨනාථපුත්තය, සඤ්ජය බෙල්ලට්ඨිපුත්තය යි “අපි බුදුම්හ” යි ප්‍රතිඥා කරන ශාස්තෲවරයෝ සදෙනෙක් දඹදිව විසූහ. ඇතැම්හු ඔවුන්ගෙන් කෙනෙකු මේ නුවරට පමුණුවා ගතහොත් මේ භය දුරු විය හැකි යයි කීහ. ඇතැම්හු දැනට බුදුන් වහන්සේ ලොව පහළව සව් සතුන්ගේ යහපත පිණිස දහම් දෙසන්නාහ. උන්වහන්සේ මහා සෘද්ධි ඇති සේක. මහානුභාව ඇතිසේක. උන්වහන්සේ මෙහි පමුණුවා ගත හොත් සියලු භය දුරු වනු ඇතැයි කීහ. බොහෝ දෙනා ඒ අදහසට එකඟ වී අප විසින් දූතයන් යැවුව හොත් උන්වහන්සේ මෙහි වැඩම කරනු ඇත්දැ යි කතා කළහ. බුදුවරයෝ අනුකම්පකයෝ ය. අප දූතයන් යැවුවහොත් උන්වහන්සේ පැමිණෙනු ඇතැයි අන්‍යයෝ කීහ. ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වැඩ වෙසෙති. බිම්සර රජ උන්වහන්සේට උවටැන් කරයි. සමහර විට බුදුන්වහන්සේට මෙහි වැඩම කිරීමට ඔහු ඉඩ නො දෙනු ඇතැයි ඇතැම්හු කීහ. එසේ නම් බිම්සර රජුට දන්වා යවා බුදුන්වහන්සේ මෙහි වැඩම කරවා ගනිමු යයි බොහෝ පඬුරු සහිතව ලිච්ඡවි රජුන් දෙදෙනෙකු සේනාව ද සමග බිම්සර රජු වෙත යැවුහ. ඔවූහු රජගහ නුවර බිම්සර රජු වෙත ගොස් පඬුරු දී කාරණය එතුමාට කියා බුදුන්වහන්සේ තමන්ගේ නගරයට එවන ලෙස කීහ. රජතුමා එය නො පිළිගෙන “එසේ නම් එය කර ගන්නා සැටි තෙපිම දැන ගනිව්” යයි කීය. එකල්හි ඔවූහු බුදුරදුන් වෙත ගොස් “ස්වාමිනි, අපේ නගරයට භය තුනක් පැමිණ ඇත්තේ ය. අප කෙරෙහි අනුකම්පා කොට නුඹ වහන්සේ එහි වැඩම කළ හොත් අපට ශාන්තියක් වන්නේය” යි සැල කළහ.

තථාගතයන් වහන්සේ ආවර්ජනා කරන සේක් එහි වැඩම කර රතන සූත්‍රය දේශනා කළ කල්හි වේශාලි නගරයේ භය සන්සිඳෙන බව හා එහි ආරක්ෂාව කෝටි ලක්ෂයක් සක්වළවල පිහිටන බවත් සුවාසූ දහසක් සත්ත්වයනට ධර්මාවබෝධ වන බවත් දැන ඔවුන්ගේ ආරාධනාව ඉවසා වදාළ සේක. බිම්සර රජු තථාගතයන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කිරීමේ ආරාධනාව ඉවසා වදාළ බව අසා උන්වහන්සේට වැඩම කරනු පිණිස නගරයේ සිට ගංගාව දක්වා පස් යොදුන් මග සමතලා කරවා යොදුනෙන් යොදුන විහාර කරවා වැඩමවීමට කාලය තථාගතයන් වහන්සේට දැන්වීය. තථාගතයන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ ද සමග මගට පිළිපන් සේක. රජතුමා මග මල් අතුරුවා මග දෙපස පුන්කලස් කෙසෙල් ගස් පිහිටවා කොඩි ඔසවා තථාගතයන් වහන්සේට සේසත් දෙකක් හා භික්ෂූන් වහන්සේට එක් එක් සේසත බැගින් ඔසවා තමාගේ පිරිවර ජනයා සමග සුවඳ මල් ආදියෙන් පුදමින් එක එක දිනක් එක් එක් විහාරයක බුදුරදුන් සහිත මහ සඟන වාසය කරවමින් මහ දන් දෙමින් මහත් වූ පෙරහරින් සංඝයා සහිත තථාගතයන් වහන්සේ ගංතෙර දක්වා වැඩම කරවා තථාගතයන් වහන්සේ ගඟින් එතෙර කරවනු පිණිස නැව් පිළියෙල කරමින් තථාගතයන් වහන්සේ ගංතෙරට පැමිණ ඇති බව විශාලා මහ නුවර රජුන්ට දන්වා යැවීය. ඔවුහු අපි ද්වීගුණ කොට තථාගතයන් වහන්සේට පුදමු යයි විසල් පුරයේ සිට ගංගාව දක්වා තුන් යොදුනක් මග සරසවා ගංතෙරට පැමිණියහ. බිම්සර රජතුමා පිළියෙල කරවූ නැවට නැග තථාගතයන් වහන්සේ එහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් සේක. රජතුමා තථාගතයන් වහන්සේ අනුව යන්නේ ගඟ දියට බැස ජලයෙහි කරවට දක්වා ගමන් කොට “ස්වාමිනි, ඔබ වහන්සේ වැඩම කරන තුරු මම මේ ගංතෙරම වෙසෙමි” යි සැළ කොට නැවතුණේ ය. යාත්‍රාව ගඟ දියෙහි ගමන් ගත්තේය. ගඟෙහිදී දෙවියෝ ද නාගයෝ ද තථාගතයන් වහන්සේට මහෝත්සවයෙන් පූජා පැවැත්වූහ. තථාගතයන් වහන්සේ පිළිගැනීම සඳහා ලිච්ඡවීහු ද කරවට තෙක් ගඟ දියට බැස ආහ. එකෙණෙහි සතර දිගින්ම මහ වැසි කළු නැග එන්නට විය. තථාගතයන් වහන්සේ ලිච්ඡවීන්ගේ බිම පා තබනු සමගම මහ වැසි වස්නට විය. ඒ ඒ තැන දන පමණට උකුල පමණට කරවට පමණට ජලය ගලායන්නට විය. මළකුණු සියල්ල පා වී ගියේය. මුළු පෙදෙස පිරිසිදු විය.

ලිච්ඡවීහු තථාගතයන් වහන්සේට සේසත් සතරක් ද භික්ෂූන්ට සේසත් දෙක බැගින් ද ඔසවමින් මහ පෙරහරින් යොදුනෙන් යොදුන තථාගතයන් වහන්සේ වාසය කරවමින් මහ දන් දෙමින් තෙදිනකින් තථාගතයන් වහන්සේ විසල් නුවරට පමුණුවා ගත්හ. තථාගතයන් වහන්සේ නගර ද්වාරයට පැමිණෙන කල්හි මහේශාක්‍ය දේවතාවෝ ද එහි පැමිණියහ. ඔවුන්ගේ පැමිණීමෙන් බොහෝ අමනුෂ්‍යයෝ නගරයෙන් ඉවත් වූහ. තථාගතයන් වහන්සේ නගර ද්වාරයේදී ම අනඳ මහතෙරුන් අමතා මේ සූත්‍ර ධර්මය උගෙන ලිච්ඡවි කුමරුවන් සමග විසල්පුර ප්‍රාකාරත්‍රය ඇතුළත ඇවිදිමින් පිරිත් කරන්න යයි මහානුභාව සම්පන්න රතන සූත්‍ර ධර්මය වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශෛලමය පාත්‍රයට පැන් ගෙන පිරිත් බෙණෙමින් පැන් ඉසිමින් මුළු නගරය සැමතැන ම සංචාරය කළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ පිරිත් ආරම්භ කෙරෙත් ම නගරයෙහි තැන තැන සැඟ වී ඉතිරි වී හුන් අමනුෂ්‍යයෝ ද පළා ගියහ. අමනුෂ්‍යයන් පළා යෙත් ම මිනිසුන්ගේ රෝග සුව විය. නිරෝග වූ මනුෂ්‍යයෝ ගෙවලින් නික්ම සුවඳ මල් ආදියෙන් තෙරුන් වහන්සේ පිදුහ. මහජනයා නගරය මැද රැස්වීම ශාලාව සරසා භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණ වූහ. භික්ෂු සංඝයා වහන්සේ ද එහි වැඩ සිටියහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ ද සියළු නගරයෙහි ඇවිද පිරිත් කර නගරවාසීන් හා එහි පැමිණියහ. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ ද දෙදෙව්ලොව දෙවියන් හා එහි පැමිණ සිටියේය. තථාගතයන් වහන්සේ ඒ සමාගමයේදී රතන සූත්‍රය දේශනා කළ සේක. ඒ ගාථාවල ආඥාව කෝටි ලක්ෂයක් සක්වළ අමනුෂ්‍යයෝ පිළිගත්හ. දේශනාවසානයෙහි සකලෝපද්‍රවයෝම සන්සිඳුණා හ. මහජනයා සුවපත් වූහ. සවාසූ දහසක් සත්ත්වයනට ධර්මාභිසමය විය. මෙසේ පිළිවෙලින් තථාගතයන් වහන්සේ එහි දින සතක් ම ඒ සූත්‍රය දේශනා කළහ. දිනපතා ම ස්වාසූ දහස බැගින් සත්ත්වයෝ නිවන් දුටහ.

රතන සූත්‍රය

කෝටි සතසහස්සේසු චක්කවාලේසු දේවතා

යස්සානං පතිගණ්හන්ති, යඤ්ච වේසාලියංපුරේ

රෝගාමනුස්ස දුබ්භික්ඛ, සම්භූතං තිවිධං භයං

ඛිප්පමන්තරධාපේසි, පරිත්තං තං භණාමහෙ

-

1. යානීධ භූතානි සමාගතානි,

භුම්මානි වා යානිව අන්ත්ලික්ඛේ

සබ්බේව භූතා සුමන භවන්තු

අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

තස්මාහි භූතා නිසාමේථ සබ්බේ,

මෙත්තං කරෝථ මානුසියා පජාය

දිවාච රත්තෝච, හරන්ති යේ බලිං

තස්මහි නේ රක්ඛථ අප්පමත්තා

-

2. යං කිංචි විත්තං ඉධවා හුරංවා

සග්ගේසු වායං රතනං පණීතං

නනෝ සමං අත්ථි තථාගතේන

ඉදම්පි බුද්ධේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

3. ඛයං විරාගං අමතං පණීතං,

යදජ්ඣගා සක්‍ය මුනී සමාහිතෝ

න තේන ධම්මේන සමත්ථි කංචි

ඉදම්පි ධම්මේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

4. යම්බුද්ධසෙට්ඨෝ, පරිවණ්ණයි සුචිං

සමාධිමානන්තරිකඤ්ඤමාහු

සමාධිනා තේන, සමෝ න විජ්ජති

ඉදම්පි ධම්මේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

5. යේ පුග්ගලා අට්ඨ සතම්පසත්ථා,

චත්තාරි ඒතානි යුගානි හොන්ති

තේ දක්ඛිනෙය්‍යා, සුගතස්ස සාවකා

එතේසු දින්නානි මහප්ඵලානි

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

6. යේ සුප්පයුත්තා මනසා දළ්හේන,

නික්කාමිනෝ ගෝතම සාසනම්හි

තේ පත්තිපත්තා අමතං විගය්හ

ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

7. යථින්දඛීලෝ පඨවිංසිතො සියා

චතුබ්භිවාතේභි අසම්පකම්පියො

තථූපමං සප්පුරිසං වදාමි

යෝ අරියසච්චානි අවෙච්ච පස්සති

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

8. යේ අරියසච්චානි විභාවයන්ති

ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි

කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා

නතෙ භවං අට්ඨමං ආදියන්ති

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

9. සහාවස්ස දස්සන සම්පදාය

තයස්සු ධම්මා ජහිතා භවන්ති

සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච

සීලබ්බතං වා’පි යදත්ථි කිඤ්චි

චතූහපායේහි ච විප්පමුත්තෝ

ඡ චාභිඨානානි අභබ්බෝ කාතුං

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

10. කිඤ්චාපි සෝ කම්මං කරෝති පාපකං

කායෙන වාචා උද චේතසා වා

අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය

අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

11. වනප්පගුම්බේ යථා ඵුස්සිතග්ගේ

ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ

තථූපමං ධම්මවරං අදේසයි

නිබ්බාණගාමිං පරමං හිතාය

ඉදම්පි බුද්ධේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

12. වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ

අනුත්තරෝ ධම්මවරං අදේසයි

ඉදම්පි බුද්ධේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

13. ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං

විරත්ත චිත්තා ආයතිකේ භවස්මිං

තේ ඛීණබීජා අවිරුළ්හිච්ඡන්දා

නිබ්බන්ති ධීරා යථායංපදීපෝ

ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

14. යානීධ භූතානි සමාගතානි

භුම්මානි වා යානිව අන්තලික්ඛෙ

තථාගතං දේවමනුස්සපූජිතං

බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු

-

15. යානීධභූතානි සමාගතානි

භුම්මානි වා යානිව අන්තලික්ඛෙ

තථාගතං දේවමනුස්සපූජිතං

ධම්මං නමස්සාම සුවත්ථි හෝතු

-

16. යානීධභූතානි සමාගතානි

භුම්මානි වා යානිව අන්තලික්ඛෙ

තථාගතං දේවමනුස්සපූජිතං

සංඝං නමස්සාම සුවත්ථි හෝතු

මෙහි ගාථාවල අංක යොදා ඇත්තේ රතන යන්ත්‍රයේ ගැබ්වල ගාථා පිහිටන ක්‍රමය අනුව ය. කෝටිසතසහස්සේසු යනාදි ගාථා දෙක රතන සූත්‍රයේ ගුණ දක්වන ගාථා දෙකකි. ඒවා සූත්‍රයට අයත් නැත. 14, 15, 16 යන අංක ඇති අවසාන ගාථා තුන සක් දෙවිඳු විසින් කියන ලද ගාථා තුනෙකි. බුදුන්වහන්සේ විසින් වදාරණ ලදුයේ යානීධ භූතානි යනාදි ගයෙහි පටන් ඛීණං පුරාණං යනාදී ගාථාව දක්වා ඇති ගාථා තෙළෙසය.

මේ සූත්‍රය බොහෝ අනුසස් ඇත්තේ ය. මෙය දිනපතා භාවිත කරන තැනැත්තාට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේ. රෝග දුරු වේ. අමනුෂ්‍ය භය ඇති නො වේ. ගොවිකම් වෙළඳාම් ආදි රැකියාවල් දියුණු වේ. සැදැහැයෙන් අසන්නවුන්ට රෝගාදිය ද දුරු වේ. මෙයින් වඩාත් ගුණ ලැබෙන්නේ සූත්‍රයේ තේරුම දැනගෙන භාවිත කරන්නවුන්ට ය. ජනපද රෝග දුරුවීමට රෝග භය පවත්නා ප්‍රදේශවල ඇවිද පිරිත් පැන් ඉසිමින් මේ පිරිත කිය යුතුය.

මෛත්‍රී සූත්‍රයේ නිදාන කථාව

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ දී වස් එළඹීමට ළං වන කල්හි බොහෝ භික්ෂුහු උන්වහන්සේ වෙත පැමිණ කමටහන් අසාගෙන ඒ ඒ පෙදෙස් වලට ගොස් වස් එළඹ කාලය තුළදී අර්හත්වයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් භාවනා කළහ.

තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන අවස්ථාවක වස් එළඹීමට සමීප කාලයේ භික්ෂූන් වහන්සේ පන්සිය නමක් උන්වහන්සේගෙන් කමටහන් ගෙන වස් එළඹීමට සුදුසු තැනක් සොයමින් දනව් සැරිසරා යන්නාහු. ප්‍රත්‍යන්ත ප්‍රදේශයෙහි හිමාලය හා සම්බන්ධ වූ වනගත සිසිල් සෙවන ඇති, අතුළ රිදී පටවල් මෙන් රමණීය සුදු වැලි තලා තැන තැන ඇති පිරිසිදු සිසිල් ජලයෙන් පිරුණු රමණීය ජලාශයක් ඇති එක් පර්වතයක් දුටහ. ඒ භික්ෂුහු එදින රාත්‍රියේ එහි වැස පසු දින සමීපයෙහි වූ ගමකට පිඬු පිණිස පිවිසියහ. එය ළඟින් ළඟින් පිහිටි ගෙවල් දහසක් ඇති ගමෙකි. එහි මනුෂ්‍යයෝ ද පින් කැමැත්තෝ ය. ඒ ප්‍රත්‍යන්තයට පැමිණීම මඳ බැවින් ගම් වැසියෝ භික්ෂූන් දැක ඉතා ප්‍රීතියට පැමිණ දන් පිළිගන්වා වස් විසීමට ආරාධනා කොට උන්වහන්සේලාට විසීම පිණිස වනයෙහි කුටි පන්සියයක් ද පිළියෙල කළහ. භික්ෂුහු දෙවෙනි දින අන් ගමකට පිඬු පිණිස පිවිසියහ. එගම වැසියෝද එසේ ම වස් විසීමට ආරාධනා කළහ. ඔවුන්ගේ ආරාධනාව පරිදි භික්ෂුහු එහි වස් එළඹ රුක්මුල්වල හිඳ කමටහන් මෙනෙහි කරන්නට වන්හ. සිල්වත් භික්ෂූන්ගේ තේජස නිසා ඒ ගස්වල දෙවියන්ට නො විසිය හැකි විය. භික්ෂූන් නැගී යන තුරු ඔවූහු තම තමන්ගේ විමන්වලින් ඉවත්ව දරුවන් ගෙන තැන තැන ඇවිදින්නට වූහ. දෙවියෝ “මේ භික්ෂුහු කවදා යෙත්දැ” යි බලා සිටියහ. වස් එළඹුණු එතන තෙමසක් ම වෙසෙන බව දැනගත් දෙවියෝ “එපමණ දික් කලක් අපට විමානවලින් බැහැරව නො විසිය හැකිය” යි සැමදෙනා එකතුව භික්ෂූන් බිය ගන්වා පළවා හැරීමට කථා කර ගත්හ. ඔවූහු රාත්‍රී කාලයේ රුක්මුල්වල හිඳ භාවනා කරන භික්ෂූන් වහන්සේ ඉදිරියෙහි භයානක යක් වෙස් ගෙන පෙනී සිටින්නටත් නපුරු හඬ නගන්නටත් පටන් ගත්හ. ඒ නපුරු රූප දක නපුරු හඬ අසා භික්ෂූන්ගේ හදවත් වෙව්ලන්නට විය. උන්වහන්සේලාට කමටහනෙහි සිත පිහිටුවා වාසය නො කළ හැකිවිය. නිතර බිය වන්නා වූ ඒ භික්ෂුන්ගේ සිහිය ද දුබල විය. නො සිහියෙන් වෙසෙන උන්වහන්සේලා වෙත රුක්දෙවියෝ ඉවසිය නොහෙන දුර්ගන්ධයන් ද එවන්නට වූහ. එයින් ඔවුනට හිසෙහි බලවත් වේදනා ද ඇති විය. භික්ෂූන්ගේ ශරීරද ක්‍රමයෙන් දුබල වී ගියේය. එහෙත් තමන් නිසා අනිකකුට කරදරයක් වීම නො කැමති වන්නා වූ ඒ ගුණවත් භික්ෂූන්ගෙන් එක් නමකුදු කීමෙන් අන්‍යයන්ට කරදරයක් වේදෝ යි සිතා තමාට ඇති කරදරය අන් කිසිවෙකුට නො කීහ.

එක් දවසක් සංඝස්ථවිරයන් වෙත සියළු භික්ෂූන් රැස් වූ කල්හි භික්ෂූන් පෙරට වඩා දුබලව සිටින බව උන්වහන්සේට පෙනී “ඇවැත්නි මෙහි පැමිණි මුල් කාලයේ ඔබවහන්සේලා පැහැපත් ශරීර ඇතිව පිණා ගිය ඉඳුර ඇතිව විසුවාහු ය. දැන් ඔබ වහන්සේලා වැහැරී ගිය සිරුරු ඇතිව නො පහන් ඉඳුරන් ඇතිව වෙසෙන්නාහු ය. ඔබ වහන්සේලාට මෙහි යම්කිසි කරදරයක් ඇතිදැ” යි කීහ. එකල්හි එක් භිෂුවක් තමාට ඇති කරදරය පැවසීය. සෙසු භික්ෂුහු ද තම තමන්ටත් ඒ කරදර ඇති බව කීහ. එකල්හි මහ තෙරුන් වහන්සේ “ඇවැත්නි, බුදුරදුන් විසින් පෙරවසය පසුවසය යයි වස් විසීම් දෙකක් අනුදැන ඇත්තේ ය. මේ සෙනසුන අපට අසත්ප්‍රාය ය. අපි බුදුරදුන් වෙත ගොස් මේ කරුණ සැල කොට සුදුසු සෙනසුනක් උන්වහන්සේගෙන් දැන ගනිමු ය.” යි කීහ. සැමදෙනා වහන්සේ ම එය පිළිගෙන සෙනසුන් තැන්පත් කොට පාසිවුරු ගෙන සැවැත්නුවර ජේතවනාරාමයට ගොස් තථාගතයන් වහන්සේ වෙත ගියහ. එකල්හි තථාගතයන් වහන්සේ “මහණෙනි වස් කාලයේ චාරිකාවෙහි නො හැසිරෙන පරිදි ම විසින් සික පද පනවා තිබියදී තෙපි කුමක් පිණිස මෙසේ ඇවිදින්නාහුදැ” යි වදාළ සේක. භික්ෂුහු කාරණය සැල කළහ. තථාගතයන් වහන්සේ ලොව බලා වදාරා මුළු දඹදිව ඔවුනට සත්ප්‍රාය අන් එක ද තැනක් නො දැක “මහණෙනි තොපට සුදුසු අන් එක ද තැනක් නැත. තෙපි එහි ම වෙසෙමින් අර්හත්වයට පැමිණෙන්නාහුය. මහණෙනි තෙපි ගොස් එහි ම වෙසෙව් තෙපි රුක්දෙවියන්ගේ අභය කැමැත්තහු නම් මේ පිරිත උගනිව්. මෙය තොපට ආරක්ෂාව ද කමටහන ද වන්නේයැ” යි මෛත්‍රී සූත්‍රය (කරණීය මෙත්ත සූත්‍රය) වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ “මහණෙනි, තෙපි ගොස් ඒ වනයෙහි ම වෙසෙව්. මේ සූත්‍රය මාසයේ ධර්මශ්‍රවණය කරන අට දිනයෙහි ගෙඩිය ගසා රැස් වී සජ්ඣායනා කරව්. මේ සූත්‍රයෙන් ම ධර්ම කථා පවත්වව්. මේ සූත්‍රය ගැන ම ධර්ම සාකච්ඡා පවත්වව්. මේ සූත්‍රයෙන් ම අනුමෝදනා බණ කියව්. මේ මෛත්‍රී කර්මස්ථානය ම වඩව්. තොපට ඉන්පසු දෙවියන් භයානක අරමුණු නො දක්වනු ඇත. ඔවුහු තොපගේ හිතවත්හු වන්නාහ.” යි වදාළ සේක. භික්ෂුහු තථාගතයන් වහන්සේ වැඳ එහි ගොස් වෙසෙමින් බුදුරදුන් වදාළ පරිදි කළහ. එතැන් පටන් අමනුෂ්‍යයෝ භික්ෂූන්ට හිතවත් වී අනේකාකාරයෙන් උපකාර කරන්නට වන්හ. දෙවියන්ගෙන් උපකාර ලබා ඒ භික්ෂුහු වස් කාලය ඇතුළත අර්හත් ඵලයට පැමිණ ශ්‍රමණ කෘත්‍යය අවසන් කළෝය.

මෛත්‍රී සූත්‍රය

යස්නානු භාවතෝ යක්ඛා නෙව දස්සෙන්ති හිංසනං

යම්හි චෙවානුයුඤ්ජන්තෝ රත්තින්දිවමතන්දිතෝ

සුඛං සුපති සුත්තෝච පාපං කිඤ්චි න පස්සති

ඒවමාදි ගුණෝපේතං පරිත්තං තං භණාමහේ.

-

1. කරණීයමත්තකුසලේන

යං තං සන්තං පදං අභිසමෙච්ච

සක්කො උජූ ච සූජූ ච

සුවචෝ චස්ස මුදු අනතිමානි

-

2. සන්තුස්සකෝ ච සුභරෝ ච

අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති

සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච

අප්පගබ්භෝ කුලේසු අන්නුගිද්ධෝ

-

3. න ච ඛුද්දං සමාචරේ

කිංචි යේන විඤ්ඤු පරේ උපවදෙය්‍යුං

සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

-

4. යෙ කේචි පාණභූතත්ථි

තසා වා ථාවරා වා අනවසේසා

දීඝා වා යේ මහන්තා වා

මජ්ඣිමා රස්සකාණුකථූලා

-

5. දිට්ඨා වා යේව අද්ධිට්ඨා

යේ ච දූරේ වසන්ති අවිදූරේ

භූතා වා සම්භවෙසී වා

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

-

6. න පරෝ පරං නිකුබ්බේථ

නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි

ඛ්‍යාරෝසනා පටිඝසඤ්ඤා

නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය

-

7. මාතා යථා නියං පුත්තං

ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ

එවම්පි සබ්බභූතෙසු

මානසං භාවයේ අපරිමාණං

-

8. මෙත්තං ච සබ්බලෝකස්මිං

මානසං භාවයේ අපරිමාණං

උද්ධං අධෝ ච තිරියඤ්ච

අසම්බාධං අවේරං අසපත්තං

-

9. තිට්ඨං චරං නිසින්නෝ වා

සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ

ඒතං සතිං අධිට්ඨෙය්‍ය

බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු

-

10. දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා

දස්සනේන සම්පන්නෝ

කාමේසු විනෙය්‍ය ගේධං

න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතීති.

මෙය විශේෂයෙන් දෙවියන්ට ප්‍රිය පිරිතකි. ඒ නිසා මෙය භාවිත කරන තැනැත්තා දෙවියන්ට ප්‍රිය වේ. එහෙයින් දෙවියන්ගේ ආරක්ෂාව ඔහුට ලැබේ. අමනුෂ්‍යයන්ට හා මනුෂ්‍යයන්ට ද ප්‍රිය වේ. එබැවින් ඔහුට අමනුෂ්‍ය උපද්‍රවයන් හා සොර සතුරු බිය ද අඩු වේ. ඔහුට ගිය ගිය තැන සැලකිලි ලැබේ. මෙයින් ලැබෙන ඵලය අඩුවක් නැතිව ලැබීමට නම් මෙහි අර්ථ ද තේරුම් ගෙන භාවිත කළ යුතුය. එසේ කරන්නහුට මෙය භාවනාවක්ද වේ.

කඳ පිරිත

(ඛන්ධ පරිත්ත)

1. විරූපක්ඛේහි මේ මෙත්තං

මෙත්තං ඒරාපථෙහි මේ

ඡබ්‍යාපුත්තෙහි මේ මෙත්තං

මෙත්තං කණ්හාගෝතමකේභි ච

-

2. අපාදකේහි මෙ මෙත්තං

මෙත්තං දිපාදකේහි මේ

චතුප්පදේහි මේ මෙත්තං

මෙත්තං බහුප්පදේහි මේ

-

3. මා මං අපාදකෝ හිංසි

මා මං හිං සි දිපාදකෝ

මා මං චතුප්පදෝ හිංසි

මා මං හිංසි බහුප්පදෝ

-

4. සබ්බේ සත්තා සබ්බේ පාණා

සබ්බේ භූතා ච කේවලා

සබ්බේ භද්‍රානි පස්සන්තු

මා කඤ්චි පාපමාගමා

අප්පමාණෝ බුද්ධෝ, අප්පමාණෝ ධම්මෝ, අප්පමාණෝ සංඝෝ පමාණවන්තානි සිරිංසපානි අහි, විච්ඡිකා, සතපදී, උණ්ණානාභි, සරබූ, මූසිකා, කතා මේ රක්ඛා කතා මේ පරිත්තා පටික්කමන්තු භූතානි, සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති.

මේ පිරිත සර්පයන් බහුල පෙදෙස්වල වෙසෙන අයට ආරක්ෂාව සඳහා භාවිත කිරීමට තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දකි. මෙය භාවිත කරන තැනැත්තා සර්පයෝ දෂ්ඨ නො කෙරෙති. මෙය සර්ප විෂ බස්වන මන්ත්‍රයක් ලෙස ද භාවිත කරති. මේ පිරිත අංගුත්තර නිකායේ චතුෂ්ක නිපාතයේ හා චූළවග්ග පාළියේ ඛුද්දකවත්ථුඛන්ධකයේ ද දක්නා ලැබේ. මෙයට ඛන්ධ පරිත්ත යන නම තබා ඇත්තේ ඛුද්දකවත්ථුඛන්ධකයේ ආ නිසා විය හැකිය. සර්පයන් බහුල පෙදෙස්වල යන විට ද මෙය කියා යනු.

මෝර පරිත්තය

මෝරපරිත්තය කොටස් දෙකකින් යුක්තය. ඉන් එක් කොටසක් උදයට කීම පිණිස ය. අනිත් කොටස සවසට කීම පිණිස ය. උදයට කියන කොටස මෙසේ ය.

උදෙතයං චක්ඛුමා ඒකරාජා

හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ

තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං

තයජ්ජගුත්තා විහරේමු දිවසං

-

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බධම්මේ

තේ මේ නමෝ තේ ච මං පාලයන්තු

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා

නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

සවසට කියන කොටස

අපේතයං චක්ඛුමා ඒකරාජා

හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ

තං තං නමස්සාමි සරිස්සවණ්ණං පඨවිප්පභාසං

තයජ්ජගුත්තා විහරේමු රත්තිං

-

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බධම්මේ

තේ මේ නමෝ තේච මං පාලයන්තු

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා

නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

මෙය සොර සතුරන්ට හසු නොවී විසීම සඳහා භාවිතයට සුදුසු පිරිතකි. මිල මුදල් වටිනා බඩු ඇතිව වෙළඳාම් ආදිය පිණිස පිට පලාත්වල හැසිරෙන අයට ආරක්ෂාව සඳහා භාවිතයට මෙය යෝග්‍ය ය. උදයෙහි නින්දෙන් අවදි වූ වහාම අසුනෙන් නොනැගිටම පළමු වන කොටස කියනු. රාත්‍රියේ නින්දට යන විට දෙවන කොටස කියනු.

බෝසතාණන් වහන්සේ රණමොනරව සිටි කාලයේ සතුරන්ට අසු නො වීම සඳහා මේ පිරිත භාවිත කළ බවත්, පිරිත කියන්නට අමතක වූ දිනයේ සතුරාගේ උගුලට අසු වූ බවත් කියා තිබේ. විස්තර කතාව ජාතක අටුවාවෙන් හෝ සිංහල පන්සිය පනස් ජාතක පොතෙන් හෝ දත හැකිය.

ධජග්ග පිරිත

  1. ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසධම්ම සාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති.
  2. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති.
  3. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, ඤායටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙය්‍යෝ, පාහුනෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ, අඤ්ජලිකරණී‍යෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.

ධජග්ග පරිත්ත නම් වූ මේ පිරිත අර්ථ සහිතව පුහුණු කර ගෙන භාවිත කිරීමෙන් රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් නපුරු සතුන්ගෙන් ගින්නෙන් දියෙන් සුළඟින් අකුණුවලින් හා තවත් නොයෙක් දෙයින් පැමිණිය හැකි සියළු උවදුරුවලින් මිදී සුවසේ දිවි පැවැත්විය හැකි වන්නේ ය. මේ පාඨ තුනෙන් ඉතිපිසෝ භගවා ආදී පළමුවන පාඨය ම ද සියළු උපද්‍රව දුරු කර ගැනීමට ප්‍රමාණවත් ය. නොයෙක් දේ සිදු කිරීමට එය මන්ත්‍රයක් වශයෙන් ද භාවිත කළ හැකිය. එයින් ඒ ඒ අය කරන ගුරුකම් බොහෝ ඇත්තේ ය. නවගුණ යන්ත්‍රය කියා යන්ත්‍රයක් ද ඇත්තේ ය. එයත් බොහෝ ගුණ දෙන යන්ත්‍රයකි. යම් පමණකට එය භාවිත කර ඇතිනම් ඒ ඒ පමණට පිරිතෙහි ගුණ ද ඇත්තේ ය. තමාගේ මුවින් ඒ බුදුගුණ පාඨය ලක්ෂ වාර ගණන් වාර කියා ඇතියෙකු විසින් එය කියතහොත් එහි බල බොහෝ ඇත්තේ ය. එවැනි පුද්ගලයාට සිහි කළ පමණින් ම ද එයින් බොහෝ ගුණ ලැබෙන්නේ ය. ධජග්ග සූත්‍ර අටුවාවෙහි සඳහන් වන පුවතක් මෙසේ ය.

දීඝවාපී චෛත්‍යයෙහි සුණු පිරියම් කරන කාලයේ යම්කිසි කටයුත්තක් සඳහා චෛත්‍යට නැගුණු තරුණ භික්ෂුවක් ගර්භය දිගේ පහළට ලිස්සා අයේය. එය දුටු බිම සිටි භික්ෂුහු “ඇවැත්නි ධජග්ග පරිත්තය සිහි කරව” යි කීහ. මරණ බියෙන් බස්නා ඒ භික්ෂුව ධජග්ග පරිත්තය සිහි කළේය. ඒ කෙණෙහිම චෛත්‍ය ගර්භයෙන් ගඩොල් කැට දෙකක් නික්මී ඒ භික්ෂුවගේ පා පිළිගත්තේ ය. සෑය මත සිටියෝ වැල්හිණිමඟක් බස්වා භික්ෂුව ගත්හ. එකල්හි ගඩොල් කැට දෙක චෛත්‍යයට නැවත ඇතුල් විය. මේ ප්‍රවෘත්තිය සඳහන් කොට,

යස්සානුස්සරණේනාපි අන්තලික්ඛේපි පාණිනෝ

පතිට්ඨමධිගච්ඡන්ති භූමියා විය සබ්බථ

යන ගය පැරණියන් ධජග්ග සූත්‍රයේ මුලට යොදා තිබේ.

අසුරයන් හා යුද්ධ කිරීමට දෙවියන් රැස් වූ අවස්ථාවක සක්දෙවිඳු දෙවියන් අමතා “පින්වත්නි! යුදයෙහිදී තොපට බියක් තැතිගැන්මක් ඇති වුවහොත් එවිට මාගේ කොඩිය බලව්, එකල්හි තොපගේ බිය සන්සිඳෙනු ඇත. මාගේ කොඩිය නුදුට හොත් ප්‍රජාපතී දෙව් රජුගේ කොඩිය බලව්, එය නුදුට හොත් වරුණ දෙව් රජුගේ කොඩිය බලව්. එය නුදුට හොත් ඊසාන දෙව් රජුගේ කොඩිය බලව්ය ” යි අනුශාසනා කළේය. එය අනුව තථාගතයන් වහන්සේ ද තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බියක් තැතිගැන්මක් ඇති වුවහොත් ඒ අවස්ථාවේ එය දුරුවනු සඳහා මෙනෙහි කිරීමට මේ තුණුරුවන් ගුණ පාඨ තුන වදාළ සේක. මෙයට ධජග්ග පරිත්ත යන නම දී ඇත්තේ සක්දෙවිඳුගේ කොඩි බැලීමේ කථාව නිමිත්ත කොට මෙය වදාළ බැවිනි.

වට්ටක පිරිත

පූරෙන්තං බෝධි සම්භාරේ - නිබ්බත්තං වට්ටක ජාතියං

යස්ස තේජේන දාවග්ගි - මහාසත්තං විවජ්ජයි

-

ථේරස්ස සාරිපුත්තස්ස ලෝකනාථේන භාසිතං

කප්පට්ඨායි මහාතේජං පරිත්තං තං භණාමහේ

-

අත්ථි ලෝකේ සීලගුණෝ සච්චං සෝචෙය්‍යනුද්දයා

තේන සච්චේන කාහාමි සච්චකිරියමනුත්තරං

-

ආවජ්ජිත්වා ධම්මබලං - සරිත්වා පුබ්බකෙ ජිනෙ

සච්චබල’මපස්සායං - සච්චකිරිය’මකාස’හං

-

සන්තිපක්ඛා අපතනා - සන්තිපාදා අවඤ්චනා

මාතා පිතා ච නික්ඛන්තා - ජාතවේද පටික්කම

-

සහසච්චේ කතෙ මය්හං - මහාපජ්ජලිතෝ සිඛී

වජ්ජේසි සෝළස කරීසානි - උදකං පත්වා යථා සිඛී

සච්චේන මේ සමෝ නත්ථි - ඒසා මේ සච්ච පාරමී

මේ වට්ටක පිරිත ගිනි භයින් මිදීම සඳහා භාවිතා කරති. මෙහි සඳහන් වන්නේ බෝසතාණන් වහන්සේ වටු පැටවකුව විසූ කලෙක හට ගත්තා වූ ලැව් ගින්නක් නිවනු පිණිස කළ සත්‍ය ක්‍රියාවකි. එයින් ලැව් ගින්න නිවිණ. ඒ ස්ථානයෙහි මේ කප මුළුල්ලෙහි ගින්නෙන් විනාශයක් නොවන බව චරියා පිටක අටුවාවෙහි කියා තිබේ. මෙය කල්පය මුළුල්ලෙහි බලය පවත්නා පිරිතකැ යි කියනු ලැබේ. අත්ථිලෝකේ සීලගුණෝ යනාදී මේ ගාථා එන්නේ චරියා පිටක පාළියේ ය. පූරෙන්තං බෝධි සම්භාරෙ යනාදී ගාථා දෙක පසු කාලයේ පිළියෙල වූවකි. මේ පිරිත උණ රෝගීන්ට උණ බැස්සවිම සඳහා ද කියති. මේ රටේ භාවිත වන ජ්වර පිරිත නම් වු උණ බැස්සීමට කියන තවත් පිරිතක් ඇත්තේ ය. දිග වැඩි බැවින් එය මේ පොතට ඇතුළු නො කරන ලදී.

අංගුලිමාල පිරිත

පරිත්තං යං භණන්තස්ස - නිසින්නට්ඨාන ධෝවනං

උදකම්පි විනාසේති - සබ්බමේව පරිස්සයං

-

සොත්ථිනා ගබ්භවුට්ඨානං - යං ච සාධෙති තං ඛණේ

ථේරස්ස අංගුලිමාලස්ස - ලෝකනාථේන භාසිතං

කප්පට්ඨායි මහාතේජං - පරිත්තං තං භණාමහේ

“යතො’හං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්ථි තේ හෝතු සොත්ථි ගබ්භස්සාති”

මෙහි මුල ගාථා දෙක අංගුලිමාල පිරිතේ අනුසස් දක්වන ගාථාය. නියමිත පිරිත අංගුලිමාල තෙරුන් වහන්සේගේ සත්‍ය ක්‍රියාවය. එනම් “යතොහං භගිනි” යනාදී පාඨය ය. මේ පිරිත ප්‍රසූත නො කළ හැකිව පීඩා විඳිමින් සිටි මවකට සෙත් කරනු පිණිස බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාල තෙරුන් වහන්සේට උගන්වන ලද්දකි. එය උගෙන අංගුලිමාල තෙරුන් වහන්සේ ඒ ස්ත්‍රිය කරා ගොස් එය කී සැටියේ ම පෙරහනකින් ජලය පෙරී ගියාක් මෙන් කිසිදු අපහසුවක් නැතිව ප්‍රසූතය සිදු විය. දරුවා හා මව සුවපත් විය. ඒ පිරිතේ ආනුභාවය තෙරුන් වහන්සේ පිරිත කී තැන ද පිහිටියේ ය. එහි ආනුභාවය එතැන මහපොළොව පවත්නා තුරුම පවතී. එය කල්පස්ථායි ප්‍රාතිහාර්යයක් බව කියා තිබේ. ඒ ස්ථානයට ගෙනැවිත් තැබුවාම තිරිසන් ස්ත්‍රීහු ද සුවසේ ප්‍රසූත කරති. පසු කාලයේ ඒ ස්ථානයෙහි මව්වරුන් උදෙසා අසුනක් තැනූහ. මව්වරු එහි නිදිකර තැබුවාම සුවසේ දරුවන් ලබති. ස්ත්‍රිය එතැනට නොගෙන ආ හැකි කල්හි ඒ අසුන සෝදා පැන් ගෙන ගොස් ඔවුන්ගේ හිසට වත් කරති. එයින් ද මව්වරු සුවසේ ප්‍රසූත කරති.

මේ අංගුලිමාල පිරිත මහානුභාවසම්පන්න පිරිතකි. මහ පිරිතය කියනුයේ මෙයට ය. මෙය ගර්භනීන් සුවපත් කිරීමට ම ඇති පිරිතක් නො වේ. මෙයින් සියළුම උවදුරු දුරු කළ හැකිය. “ඉමඤ්ච පන පරිත්තං න කිඤ්චිපරිස්සයං න මද්දති මහාපරිත්තං නාමෙතං” යනුවෙන් අටුවාවෙහි ඒ බව දක්වා ඇත්තේ ය. සියලුම රෝගවලටත් ඇස්වහ කටවහ දෝෂයටත් මෙයින් බොහෝ ගුණ ලැබිය හැකි වනු ඇත. පැන්වලට තෙල්වලට නූල්වලට පිරිත් කොට සුදුසු පරිදි ඒ ඒ දෙයට යොදනු. පිරිත කීවාර ගණන වැඩි වූ පමණට ගුණය වැඩියෙන් ලැබේ. ඒ නිසා පැමිණ ඇති උපද්‍රවයේ මහත් බව අනුව පිරිත කීමේ වාර ගණන වැඩි කළ යුතුය. කරුණුවල සැටි සැටියට සත්වර, විසීක්වර, එකසිය අට වර, දහස් වර, පිරිත් කරනු.

අංගුලිමාල ආරක්ෂාව

දිසා හි මේ ධම්මකථං සුණන්තු

දිසා හි මේ යුඤ්ජන්තු බුද්ධසාසනේ

දිසා හි මේ තේ මනුජා භජන්තු

යේ ධම්ම මේවා දපයන්ති සන්තෝ

-

දිසා හි මේ ඛන්තිවාදානං අවිරෝධපසංසිනං

සුණන්තු ධම්මං කාලේන තඤ්ච අනුවිධියන්තු

න හි ජාතු සො මමං හිංසේ අඤ්ඤං වා පන කිඤ්චිතං

පප්පුය්‍ය පරමං සන්ති රක්ඛෙය්‍ය තසථාවරෙ

බොහෝ ගණනක් මිනිසුන් මරා ඇති අංගුලිමාල තෙරුන් වහන්සේට බොහෝ සතුරෝ වූහ. ගිය ගිය තැන සතුරෝ වූහ. සාප කරන්නෝ බොහෝ වූහ. සතුරු උවදුරුවලින් මිදීම සඳහා උන්වහන්සේ මේ ගාථා කීහ. අංගුලිමාල පිරිතෙහි මෙන්ම මේ ගාථා වල ද ආනුභාවයක් තිබිය යුතුය. සතුරන් ඇති කාටත් මේ ගාථා භාවිතය ප්‍රයෝජනය විය හැකිය. සතුරු උවදුරු ඇත්තෝ මේ ගාථා භාවිත කෙරෙත්වා. පාඩම් කර උදේ සවස භාවිත කරනු. සතුරෝ මිතුරෝ වෙති.

මත්ස්‍ය රාජ පිරිත

පුනා පරං යදා හෝමි - මච්ඡරාජා මහා සරේ

උණ්හේ සුරිය සන්තාපේ - සරේ උදඛ ඛීයථ

තතෝ කාකාච ගිජ්ඣාච - බකා කුලල සේනකා

භක්ඛයන්ති දිවා රත්තිං - මච්ඡේ උපනිසීදිය

-

එවං චින්තේ සහං තත්ථ - සහඤාතීහි පීළිතෝ

කේන නුඛෝ උපායේන - ඤාති දුක්ඛා පමෝචයේ

-

විචින්තයිතවා ධම්මත්ථං - සච්චං අද්දස පස්සයං

සච්චේ ඨත්වා පමෝචේසිං - ඤාතීනං තං අතික්ඛයං

-

අනුස්සරිත්වා සතං ධම්මං - පරමත්ථං විචින්තයං

අකාසි සච්ච කිරියං යං - ලෝකේ ධුව සස්සතං

-

යතො සරාමි අත්තානං - යතෝ පත්තෝස්මි විඤ්ඤුතං

නාභිජානාමි සංචිච්ච - ඒකපානම්පි හිංසිතං

-

ඒතේන සච්චවජ්ජේන - පජ්ජුන්නෝ අභිවස්සතු

අභිත්ථනය පජ්ජුන්න - නිධිං කාකස්ස නාසය

කාකං සෝකාය රන්ධේහි - මච්ඡේ සෝකා පමෝචය

-

සහමතේ සච්චවරේ - පජ්ජුන්නෝ අභිගජ්ජිය

ථලං නින්නංච පූරෙන්තෝ - ඛණේන අභිවස්සථ

-

ඒවං රූපං සච්චවරං - කත්වා විරියමුත්තමං

වස්සාපේසිං මහාමේඝං - සච්චතේජ බලස්සිතෝ

සච්චේන මේ සමෝ නත්ථි - ඒසා මේ සච්ච පාරමි

මහබෝසතාණන් වහන්සේ එක් කලෙක විලක මත්ස්‍ය රාජයෙක්ව සිට නියං කාලයකදී සත්‍යක්‍රියා කොට මහවැසි වස්වා මත්ස්‍යයන් බේරා ගත්හ. ඉහත දැක්වෙන්නේ චරියා පිටක පාළියේ ඒ පුවත දක්වා ඇති ගාථා පෙළය. එය වැසි වස්සන පිරිතක් ලෙස බුරුමයේ ඇතැම් පිරිත් පොත්වල දක්වා ඇත. වැසි නැති කල්හි ඒ පෙදෙස්වල වෙසෙන ජනයා ශීලයෙහි පිහිටා තුනුරුවන් පුදමින් මේ පිරිත කියවා ගත හොත් වැසි ලැබිය හැකිය.

වැසි පිරිත

සුභූතෝච මහාථේරෝ - මහාකායෝ මහෝදයෝ,

නීලවණ්ණෝ මහාතේජෝ - පවස්සතු වලාහකා,

-

අභිත්ථනය පජ්ජුන්න - නිධිං කාකස්ස නාසය,

කාකං සෝකාය රන්ධේහි - මච්ඡේ සෝකා පමෝචය,

එතේන සච්චවජ්ජේන - සම්මා දේවෝ පවස්සතු.

ලංකාවේ ඇතැම් පිරිත් පොත්වල වැසි වස්සන පිරිතක් ලෙස මේ ගාථා දෙක දැක්වේ. එහි සඳහන් වන සුභූත තෙරුන් වහන්සේ අපේ පිටකත්‍රයෙහි හෝ අටුවා පොත්වල හෝ සඳහන් තැනක් නො දක්නා ලදී. මෙය මහායාන පොත්වලින් ගන්නා ලද්දක් විය හැකිය.

පිටකත්‍රයේ නැති පිරිත්

ඒ ඒ කාර්යයන්ට යොදා ගැනීම පිණිස පැරණි වියතුන් විසින් සම්පාදිත බොහෝ පිරිත් හා ගාථා ද ඇත්තේ ය. ඇණවුම් පිරිත, බොජ්ඣංග පිරිත, ආටානාටිය පිරිත, ජය පිරිත, ගිනි පිරිත, ජලනන්දන පිරිත, ජිනපංජරය, ඛුද්දක ජිනපංජරය, අටවිසි පිරිත, ජයමංගල ගාථා, මහා ජයමංගල ගාථා, රන්දෙණේ ගාථා, යන මේවා ඉන් සමහරෙකි. යන්ත්‍ර විද්‍යාව අනුව පැරණියන් ඇතැම් පිරිත් හා ගාථා යන්ත්‍රවලට යොදා තිබේ. මන්ත්‍ර විද්‍යාව අනුව ඇතැම් ගාථා නොයෙක් වැඩට යොදාගෙන ඇත්තේය. ඒවායින් ප්‍රයෝජන ලබනු කැමතියන් සඳහා ඒවායින් සමහරක් ඉදිරියට දක්වනු ලැබේ.

බොජ්ඣංග පිරිත

සංසාරේ සංසරන්තානං - සබ්බ දුක්ඛ විනාසනේ

සත්ත්ධම්මේච බොජ්ඣංගේ - මාරසේනප්පමද්දනේ

-

ඛුජ්ඣිත්වා යේ චිමේ සත්තා - තිහවා මුත්තකුත්තමා

අජාතිං අජරාඛ්‍යාධිං - අමතං නිබ්භයං ගතා

-

එවමාදී ගුණෝපේතං - අනේක ගුණසංගහං

ඔසධවං ඉමං මන්තං - බොජ්ඣංගං තං භණාමහේ

-

බොජ්ඣංගෝ සති සංඛාතෝ - ධම්මානං විචයෝ තථා

විරියං පීති පස්සද්ධි - බොජ්ඣංගා ච තතෝ පරේ

-

සමාධු’පෙක්ඛා බොජ්ඣංගා - සත්තේ තේ සබ්බදස්සිනා,

මුනිනා සම්මදක්ඛාතා - භාවිතා බහුලීකතා

-

සංසත්තන්ති අභිඤ්ඤාය - නිබ්බාණාය ච බෝධියා,

එතේන සච්චවජ්ජේන - සොත්ථි තේ (මේ) හෝතු සබ්බදා

-

එකස්මිං සමයෝ නාථෝ - මොග්ගල්ලානඤ්ච කස්සපං,

ගිලානේ දුක්ඛිතේ දිස්වා - බොජ්ඣංගේ සත්ත දේසයි

-

තේ ච තං අභිනන්දිත්වා - රෝගා මිච්චිංසු තං ඛණේ,

ඒතේන සච්චවජ්ජේන - සොත්ථි තේ (මේ) හෝතු සබ්බදා

-

ඒකදා ධම්මරාජාපි - ගේලඤ්ඤේනා’භිපීළිතෝ,

චුන්දත්ථෙරේන තං යේව - භාණාපෙත්වාන සාදරං

-

සම්මෝදිත්වාන ආබාධා - තම්හා වුට්ඨාසි ඨානාසෝ,

ඒතේන සච්චවජ්ජේන - සොත්ථි තේ (මේ) හෝතු සබ්බදා

-

පහීණාතේච ආබාධා - තිණ්ණනම්පි මහේසිනං

මග්ගාහත කිලේසාච - පත්තා’නුපත්ති ධම්මතං

ඒතේන සච්චවජ්ජේන - සොත්ථි තේ (මේ) හෝතු සබ්බදා

මෙය රෝග සුවය පිණිස රෝගීන්ට කියන පිරිතකි. රෝගියා බොධ්‍යාංග ධර්ම දන්නා - මේ පිරිතෙහි තේරුම දන්න කෙනෙක් වේ නම් මෙයින් ගුණ බොහෝ ලැබේ. ඉක්මනින් ගුණ ලැබේ. අන්‍යයන්ට එතරම් ප්‍රකට ගුණයක් නො ලැබේ.

ආටානාටිය පිරිත

1. අප්පසන්නේහි නාථස්ස - සාසනේ සාධුසම්මතේ,

අමනුස්සේහි චණ්ඩෙහි - සදා කිබ්බිස කාරිහි

-

2. පරිසානං චතස්සන්නං - අහිංසායච ගුත්තියා,

යං දේසේහි මහා වීරෝ - පරිත්තං තං භණාමහේ

-

3. විපස්සිස්සච නමත්ථු - චක්ඛුමන්තස්ස සිරිමතෝ,

සිඛිස්සා පිච නමත්ථු - සබ්බ භූතානුකම්පිනෝ

-

4. වෙස්සභුස්සච නමත්ථු - නහාතකස්ස තපස්සිනෝ,

නමත්ථු කකුසන්ධස්ස - මාරසේනා පමද්දිනෝ

-

5. කෝණාගමනස්ස නමත්ථු - බ්‍රාහ්මණස්ස වුසීමතො,

කස්සපස්සච නමත්ථු - විප්පමුත්තස්ස සබ්බධී

-

6. අංගීරසස්ස නමත්ථු - සක්‍ය පුත්තස්ස සිරීමතෝ,

යෝ ඉමං ධම්මං දේසේසි - සබ්බදුක්ඛා පනූදනං

-

7. යේචාපි නිබ්බුතා ලෝකේ - යථා භූතං විපස්සිසුං,

තේ ජනා අපිසුණා - මහන්තා විතසාරදා

-

8. හිතං දෙවමනුස්සානං - යං නමස්සන්ති ගෝතමං,

විජ්ජාචරණ සම්පන්නං - මහන්තං වීතසාරදං

-

9. එතේ වඤ්ඤේච සම්බුද්ධා - අනේකසතකෝටියා,

සබ්බේ බුද්ධා සමසමා - සබ්බේ බුද්ධා මහිද්ධිකා

-

10. සබ්බේ දස බලූපේතා - වෙසාරජ්ජෙහුපාගතා,

සබ්බේ තේ පටිජානන්ති - ආසභං ඨානමුත්තමං

-

11. සීහනාදං නදන්තේ තේ - පරිසාසු විසාරදා,

බ්‍රහ්මචක්කං පවත්තෙන්ති - ලෝකේ අප්පටිවත්තියං

-

12. උපේතා බුද්ධ ධම්මේහි - අට්ඨාරසභි නායකා,

ඛත්තිංසලක්ඛණූපේතා - සීතානුඛ්‍යාඤ්ජනාධරා

-

13. ව්‍යාමප්පභාය සුප්පභා - සබ්බේ තේ මුනිකුඤ්ජරා,

බුද්ධා සබ්බඤ්ඤුනෝ එතේ - සබ්බේ ඛීණසවා ජිනා

-

14. මහා පභා මහා තේජා - මහා පඤ්ඤා මහබ්බලා,

මහා කාරුණිකා ධීරා - සබ්බේ සානං සුඛාවහා

-

15. දීපා නාථා පතිට්ඨා ච - තාණා ලේනා ච පාණිනං,

ගතිබන්ධු මහෙස්සාසා - සරණං ච හිතේසිනෝ

-

16. සදේවකස්ස ලෝකස්ස - සබ්බේ එතේ පරායණා,

තේසාහං සිරසා පාදේ - වන්දාමි පුරිසුත්තමේ

-

17. වචසා මනසා චේව - වන්දාමේතේ තථාගතේ,

සයනේ ආසනේ ඨානේ - ගමනේ චාපි සබ්බදා

-

18. සදා සුඛේන රක්ඛන්තු - බුද්ධා සන්තිකරා (තුවං),

තෙහි (ත්වං) රක්ඛිතෝ සන්තෝ - මුත්තෝ සබ්බභයෙහි ච

-

19. සබ්බරෝගෝ විනිම්මුත්තෝ - සබ්බසන්තාප වජ්ජිතෝ,

සබ්බවෙරමතික්කන්තෝ - නිබ්බුතෝච (තුවං භව)

-

20. තේසං සච්චේන සීලේන - ඛන්තිමෙත්තබලේන ච,

තේපි (තුම්හේ) නුරක්ඛන්තු - ආරෝගෙන සුඛේන ච

-

21. පුරත්ථිමස්මිං දිසාභාගේ - සන්ති භූතා මහිද්ධිකා,

තේපි (තුම්හේ) නුරක්ඛන්තු - ආරෝගෙන සුඛේන ච

-

22. දක්ඛිණස්මිං දිසාභාගේ - සන්ති දේවා මහිද්ධිකා,

තේපි (තුම්හේ) නුරක්ඛන්තු - ආරෝගෙන සුඛේන ච

-

23. පච්ඡිමස්මිං දිසා භාගේ - සන්ති නාගා මහිද්ධිකා,

තේපි (තුම්හේ) නුරක්ඛන්තු - ආරෝගෙන සුඛේන ච

-

24. උත්තරස්මිං දිසා භාගේ - සන්ති යක්ඛා මහිද්ධිකා,

තේපි (තුම්හේ) නුරක්ඛන්තු - ආරෝගෙන සුඛේන ච

-

25. පුරත්ථිමේන ධතරට්ඨො - දක්ඛිණේන විරූළ්හකො,

පච්ඡිමේන විරූපක්ඛෝ - කුවෙරෝ උත්තරං දිසං

-

26. චත්තාරෝ තේ මහා රාජා - ලෝකපාලා යසස්සිනෝ

තේපි (තුම්හේ) නුරක්ඛන්තු - ආරෝගෙන සුඛේන ච

-

27. ආකාසට්ඨාච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා,

තේපි (තුම්හේ) නුරක්ඛන්තු - ආරෝගෙන සුඛේන ච

-

28. ඉද්ධිමන්තෝ ච යේ දේවා - වසන්තා ඉධ සාසනේ,

තේපි (තුම්හේ) නුරක්ඛන්තු - ආරෝගෙන සුඛේන ච

-

29. සබ්බීතියෝ විවජ්ජන්තු - සෝකෝ රෝගෝ විනස්සතු,

මා (තේ) භවත්වන්තරායෝ - සුඛී දීඝායුකෝ (භව)

-

30. අභිවාදනසීලිස්ස - නිච්චං වුද්ධාපචායිනෝ,

චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති - ආයුවණ්ණෝ සුඛං බලං

මේ මහානුභාවසම්පන්න පිරිතකි. මෙය අනුන්ට කියන කල්හි මෙහි ඇති සැටියට ම කිය යුතුය. තමාගේ ප්‍රයෝජනය සඳහා තමා කියා ගන්නවා නම් වරහන් කර ඇති තැන් වෙනස් කර කිය යුතුය. 18 වන ගාථාවෙහි “තුවං” යන වචනය වෙනුවට “මමං” කියා ද “ත්වං” යන වචනය වෙනුවට “අහං” කියා ද යොදා ගත යුතුය. 19 වන ගාථාවෙහි “ත්වං භව” යනු “භවා’මහං” කියා යොදා ගත යුතුය. අනිත් ගාථාවල “තුම්හෙ” කියා ඇති තැන් “අම්හේ” කියා වෙනස් කළ යුතුය. 29 වන ගාථාවෙහි “තෙ” යන්න ”මේ” කියා ද “භව” යනු ”භවේ” කියා ද යොදා ගත යුතුය. මෙය තමාට කියා ගන්නා සැටියට ම සකස් කර පාඩම් කර ගැනීම වඩා හොඳය.

මේ පිරිත භාවිත කරන තැනැත්තාට අමනුෂ්‍යයන්ගෙන් කරදර ඇති නො වේ. දෙවියන්ගේ ආරක්ෂාව ලැබේ. කලක් දිනපතා භාවිත කළ හොත් අමනුෂ්‍යයෝ කීකරු වෙති. දේව බැල්ම නිතර පවතී.

අටවිසි පිරිත

1. තණ්හංකරෝ මහාවීරෝ - මේධංකරෝ මහායසෝ

සරණංකරෝ ලෝකහිතෝ - දීපංකරෝ ජුතින්ධරෝ

-

2. කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ - මංගලෝ පුරිසාසභෝ

සුමනෝ සුමනෝ ධීරෝ - රේවතෝ රතිවද්ධනෝ

-

3. සෝභිතෝ ගුණසම්පන්නෝ - අනෝමදස්සී ජනුත්තමෝ

පදුමෝ ලෝක පජ්ජෝතෝ - නාරදෝ වර සාරථී

-

4. පදුමුත්තරෝ සත්තසාරෝ - සුමේධෝ අග්ගපුග්ගලෝ

සුජාතෝ සබ්බලෝකග්ගෝ - පියදස්සී නරාසභෝ

-

5. අත්ථදස්සී කාරුණිකෝ - ධම්මදස්සී තමෝනුදෝ

සිද්ධත්ථෝ අසමෝ ලෝකේ - තිස්සෝ වරදසංවරෝ

-

6. ඵුස්සෝ වරද සම්බුද්ධෝ - විපස්සීච අනූපමෝ

සිඛී සබ්බහිති සත්තා - වෙස්සභූ සුඛදායකෝ

-

7. කකුසන්ධෝ සත්ථවාහෝ - කෝණාගමනෝ රණඤ්ජහෝ

කස්සපෝ සිරිසම්පන්නෝ - ගෝතමෝ සක්‍යපුංගවෝ

-

8. තේසං සච්චේන සීලේන - ඛන්තිමෙත්ත බලේන ච

තේපි(ත්වං) අනුරක්ඛන්තු - ආරෝග්‍යේන සුඛේන ච

අටවිසි බුදුවරයන් වහන්සේලා ගේ බලයෙන් ආරක්ෂාව ඇති කරන මෙය ආනුභව සම්පන්න පිරිතකි. නිතර භාවිතයට හොඳය. අවසාන ගාථාවේ “තේපි ත්වං” යනු “තේපි’හං” කියා යොදා ගෙන කිය යුතුය.

මහාමංගල ගාථා

1. මහාකාරුණිකෝ නාථෝ - හිතාය සබ්බපාණිනං

පූරෙත්වා පාරමී සබ්බා - පත්තෝ සම්බෝධිමුත්තමං

එතේන සච්චවජ්ජේන - හෝතු (මේ)ජයමංගලං

-

2. ජයන්තෝ බෝධියා මූලේ - සක්‍යානං නන්දිවද්ධනෝ

ඒවං මය්හං ජයෝ හෝතු - ජයස්සු ජයමංගලං

-

3. සක්කත්වා බුද්ධරතනං - ඕසධං උත්තමං වරං

හිතං දේවමනුස්සානං - බුද්ධ තේජේන සොත්ථිනා

නස්සන්තු’පද්දවා සබ්බේ - දුක්ඛා වූපසමෙන්තු(මේ)

-

4. සක්කත්වා ධම්මරතනං - ඕසධං උත්තමං වරං

පරිළාහූපසමණං - ධම්මතේජේන සොත්ථිනා

නස්සන්තු’පද්දවා සබ්බේ - භයා වූපසමෙන්තු(මේ)

-

5. සක්කත්වා සංඝරතනං - ඕසධං උත්තමං වරං

ආහුනෙය්‍යං පාහුනෙය්‍යං - සංඝ තේජේන සොත්ථිනා

නස්සන්තු’පද්දවා සබ්බේ - රෝගා වූපසමෙන්තු(මේ)

-

6. යං කිඤ්චි රතනං ලෝකේ - විජ්ජති විවිධා පුථු

රතනං බුද්ධසමං නත්ථි - තස්මා සොත්ථි භවන්තු (මේ)

-

7. යං කිඤ්චි රතනං ලෝකේ - විජ්ජති විවිධා පුථු

රතනං ධම්මසමං නත්ථි - තස්මා සොත්ථි භවන්තු (මේ)

-

8. යං කිඤ්චි රතනං ලෝකේ - විජ්ජති විවිධා පුථු

රතනං සංඝසමං නත්ථි - තස්මා සොත්ථි භවන්තු (මේ)

-

9. නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධෝ මේ සරණං වරං

ඒතේන සච්චවජ්ජේන - හෝතු(මේ) ජයමංගලං

-

10. නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මෝ මේ සරණං වරං

ඒතේන සච්චවජ්ජේන - හෝතු(මේ) ජයමංගලං

-

11. නත්ථි මේ සරණං අඤ්ඤං - සංඝෝ මේ සරණං වරං

ඒතේන සච්චවජ්ජේන - හෝතු(මේ) ජයමංගලං

-

12. සබ්බීතියෝ විවජ්ජන්තු - සබ්බරෝගෝ විනස්සතු

මා(මේ)භවත්වන්තරායෝ - සුඛී දීඝායුකෝ භව

-

13. භවතු සබ්බමංගලං - රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බබුද්ධානු භාවේන - සදා සොත්ථි භවන්තු (මේ)

-

14. භවතු සබ්බමංගලං - රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බධම්මානු භාවේන - සදා සොත්ථි භවන්තු (මේ)

-

15. භවතු සබ්බමංගලං - රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බසංඝානු භාවේන - සදා සොත්ථි භවන්තු (මේ)

-

16. නක්ඛත්ත යක්ඛ භූතානං - පාපග්ගහනිවාරණා

පරිත්තස්සානු’භාවේන - හන්තු මය්හං උපද්දවේ

-

17. යං දුනිමිත්තං අවමංගලඤ්ච

යො චා’ මනාපො සකුණස්ස සද්දො

පාපග්ගහො දුස්සුපිනං අකන්තං

බුද්ධා’නුභාවේන විනාසමෙන්තු

-

18. යං දුනිමිත්තං අවමංගලඤ්ච

යො චා’ මනාපො සකුණස්ස සද්දො

පාපග්ගහො දුස්සුපිනං අකන්තං

ධම්මා’නුභාවේන විනාසමෙන්තු

-

19. යං දුනිමිත්තං අවමංගලඤ්ච

යො චා’ මනාපො සකුණස්ස සද්දො

පාපග්ගහො දුස්සුපිනං අකන්තං

සංඝා’නුභාවේන විනාසමෙන්තු

මෙය අනුනට සෙත් කිරීමේදී වරහන් තුළ “මේ” යි තිබෙන තැන් “තේ” යි කියනු. 12 වන ගාථාවෙහි “භවේ” යනු “භව” යි කියනු. “මය්හං” යි ඇති තැන් “තුය්හං” යි කියනු.

ජය ලැබීම, දුක් දුරු වීම, රෝග දුරුවීම, සැපවත් වීම, අමනුෂ්‍ය දෝෂ දුරු වීම, ග්‍රහ අපල දුරු වීම, නපුරු නිමිති ඇති සිහිනවල දොස් දුරු වීම යන සියලු ම කරුණුවලට මේ ගාථා යහපති. කිනම් පිරිතක් හෝ කී කල්හි අවසානයට මේ ගාථා කියනු.

වැදගත් කටයුත්තක් සඳහා යන විට ද කලක් කරන්නට සිදුවන වැඩක් පටන් ගන්නා විට ද බුදුරදුන්ට මල් පහන් සුවඳ දුම් පුදා දෙවියන්ට පින් දී මෙහි පළමුවන දෙවන ගාථා දෙක සත්වරක් හෝ විසි එක් වරක් හෝ කියා යනු. කටයුත්ත ආරම්භ කරනු. ජය අත් වේ.

ඛුද්දක ජිනපඤ්ජරය

1. දිසාසු දසභාගේසු ඨිතා බුද්ධානුභාවතො,

වෙරාදි අන්තරායාපි විනස්සන්තු අසේසතෝ,

එවමාදි ගුණෝපේතං පරිත්තං තං භණාමහෙ.

-

2. පදුමුත්තරො පුරත්ථිමායං අග්ගිනෙ චෙව සොභිතො

දක්ඛිණෙ කස්සපො බුද්ධො නිරිතෙච සුමංගලො

-

3. පච්ඡිමෙ ච සිඛී බුද්ධෝ වායඛ්‍යා මෙධංකරො

උත්තරෙ පියදස්සීච ඊසානෙ දීපංකරො

-

4. පඨවිං කකුසන්ධොච ආකාසෙ සරණංකරො

එවං දසදිසා චෙව සබ්බෙ බුද්ධා පතිට්ඨිතා

-

5. අච්චන්තරායා සබ්බේ තෙ සොක රෝග භයා පි ච

විනස්සන්තු සදා (තුය්හං) සබ්බිරියාපථෙසු ච

-

6. යක්ඛාදිදෙවතාභි ච රාජචොරාදි අග්ගිහි

අමනුස්සෙහි සබ්බහි තිරච්ඡාන ගතෙසු ච

-

7. ජාතා සබ්බේ විනස්සන්තු උපද්දව අසෙසතො

එතෙන සච්චවජ්ජේන සොත්ථි (තෙ) හොතු සබ්බදා

තමාට කියාගැනීමේදී පස්වන ගාථාවෙහි “තුය්හං” යනු “මය්හං” කියා ද සත්වන ගාථාවේ “තෙ”යනු “මෙ” යි ද වෙනස් කර කියනු.

බොහෝ දෙනා මේ පිරිත නොයෙක් දෙයට යොදති. බොහෝ ගුණ මේ පිරිතෙන් ලැබී ඇති බව ද කියති. මෙයින් කරන වැඩ සමහරක් මෙසේ ය. අමනුෂ්‍ය උපද්‍රවයට හා උණට පැන් හෝ තෙල් පිරිත් කරනු. ගෙවල් ආරක්ෂාවට පිරිසිදු තැනකින් ගල් කැට ගෙන ඒ ගෙය තුළදී එකසිය අට වර පිරිත් කොට මුට්ටි සතරක ලා එකවිට සතර පැත්තේ වළලනු. අමනුෂ්‍ය දෝෂවලට තෙල් පිරිත කර ගෙය තුළ පහන් දල්වනු. ගෙට නපුරු සතුන් එනවානම් තෙල් පිරිත් කර ගෙයින් පිටත පහන් දල්වනු. ඇස්වහ කටවහ ආදියට කපුටා හඬන්නට පෙර පිරිසිදු බඳුනකට පැන් ගෙන විසිහය වරක් පිරිත් කර දෙනු.

මේ පිරිත භාෂා රීති හෙවත් ව්‍යාකරණය සලකා ප්‍රබන්ධ කරන ලද්දක් බව නො පෙනේ. ගුණ ලැබීමට ඒ ව්‍යාකරණ රීති උවමනා නැති නිසා මෙසේ කරන ලදැයි සිතිය හැකිය.

ජලනන්දන පිරිත

මෙය බොහෝ දෙනා නොයෙක් වැඩට යොදා ගන්නා වූ ද උසස් කොට සලකන්නා වූ ද පිරිතකි. මෙය බෙහෙවින් භාවිත වන්නේ මන්ත්‍ර ගුරුකම් කරන්නවුන් අතරය. එහි පාළි සිංහල සංස්කෘත යන භාෂා තුනේ ම වචන දක්නා ලැබේ. සිංහල වචන හා පාළි වචන පසු කාලයේදී ඇතුළු වූ ඒවා විය හැකිය. නූගතුන් විසින් අතින් අතට ලිවීමේ දී නොයෙක් විට වචන වෙනස් වී ලියැවේ. මේ පිරිතෙන් වැඩ කරන බොහෝ දෙනෙකුන් වෙත ඇති පිටපත් ගණනක් අප විසින් පරීක්ෂා කර බලා ඇත. එකිනෙකට සමාන පිටපත් දෙකකුදු නො දක්නා ලදී. මුද්‍රිත පොත්වල ඇති පිටපත් ද එසේම ය. වෙනස්කම් කොතෙක් ඇතත් කවුරුත් තම තමන් වෙත ඇති පිටපතින් තම තමන්ට පාඩම් ඇති සැටියෙන් මේ පිරිතෙන් නොයෙක් ප්‍රයෝජන ලබති. එබැවින් පිටපත්වල වෙනස්කම් ඇත ද ගුණය ලැබෙන බව කිය යුතුය.

ජලනන්දන ගාථාවලින් යම්කිසි අදහසක් ද නො ගත හැකිය. එක් කලෙක ආනන්ද ස්ථවිරයන් වහන්සේ රොඩි ගැහැනියක විසින් යම් කිසි ගුරුකමක් වශී කරගෙන සිටි විටෙක තථාගතයන් වහන්සේ දැක උන්වහන්සේ විසින් අන්නද ස්ථවිරයන් වහන්සේ මුදවා ගැනීම පිළිබඳ කථාවක් තිබේ. ඒ කාථාවේ මුල අන්නද ස්ථවිරයන් වහන්සේ විසින් රොඩී තරුණියකගෙන් පැන් ටිකක් ලබා ගැනීමය. මේ කථාව අපේ බණ පොතව ඇතියක් නොවේ. ජලනන්දන පිරිත ප්‍රබන්ධ කර ඇත්තේ ඒ කථා පුවත අනුව වියහැකිය. ජලනන්දන පිරිත එක් පොතක තිබුණු සැටි මෙසේය.

1. චතුවීසති බුද්ධෝති යො භවිස්සති උත්තමං

පාරමීබලයුත්තෙහි ජලනන්දන මුත්තමං

-

2. අනොමානී ජලං තීරෙ උත්තමං පත්තචීවරෙ

පාරමී තෙ ජලං හොති සබ්බ බන්ධන ඡෙදනං

-

3. ආනන්දොති මහාථෙරං උත්තමං ධම්මභාණ්ඩකං

යෙන භික්ඛු මහාථෙරං සයනෙ බන්ධන විද්ධංසනං

-

4. ඉති ශ්‍රී ලොකබුද්ධෙහි යෙන ධම්මානු භාවතො,

යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා විනාසං බුද්ධානු භාවතො

-

5. මුනින්දො හොති නමො බුද්ධා මාරසෙනා පවජ්ජති

දසකොටිසහස්සානි සර්ව බන්ධන ඡෙදනං

-

6. පාරමිතා ගුණා හොති සො භවිස්සති උත්තමං

අනේකජාති සංසාරං සහස්සං ධම්මානුභාවතො

-

7. සයානො වා සහස්සානි උත්තමං ගුණ පුග්ගලං

අසීතිං යෙන සබ්බේපි සබ්බසිද්ධි භවන්තු මෙ

ජලනන්දන පිරිතේ අනුසස් මෙසේ කියා තිබේ

මේකෙන් සියවර පස්තෙල් මතුරා - වෙහෙර පහන් ගොස් දල්වන් - නේ

සීනෙන් විස්කම් දෙවියෝ ඇවිදින් - සිතු දෙයක් සකි පවසන් - නේ

එමවර බෝ මුල පස්තෙල් මතුරා - නළල තිලක දී පලයන් - නේ

සැමවර නඩුවෙන් ජයගන්නට හැකි - මේ බව සිහියට අරගන් - නේ

-

සදෙව් ලොවේ දෙවියොත් හිස නම තී

යක් බූ පිසසුන් බිය වී දුව තී

ජලේ සැඟෙව් වින දෝසත් පුපුර ති

ලොවේ සතට මින් සුබසෙත් සැලසෙ ති

-

ඇඟේ තුබුණ සැම බන්ධ න

දුරුවෙයි කරමින් නන්ද න

මුනිඳු දෙසූ ජලනන්ද න

පිරිතෙන් දුරුවෙයි නන්ද න

මෙයින් බොහෝ දේ කරති. ඉන් සමහරක් මෙසේ ය. පස් තෙලට පිරිත කර විහාරයක පහන් දල්වනු. දෙවියෝ සිහිනෙන් පෙනෙති. පස් තෙලට පිරිත් කර නළල තිලක දී ගිය කල යුක්ති දිනයි. දෙහි හෝ පුහුල් හෝ පිරිත් කර බන්ධන කපනු. යක්ෂ ප්‍රේත දෝෂවලට නූල් තෙල් පිරිත් කර දෙනු. නඩුවලට සඳුන් තෙලට දහස් වර පිරිත් කර ගායනු. ගල් පිරිත කර ආරක්ෂාවට වලලනු. බඩේ කැක්කුමට දෙහි හෝ ඉඟුරු පිරිත් කර දෙනු. දත් කැක්කුමට හුණු පිරිත් කර ගානු. මේ හැර මෙයින් තවත් නොයෙක් වැඩ කරන්නට ඒ ඒ වට්ටෝරුවලට කියා තිබේ.

ගිනි පිරිත

ජාලෝ මහාජාලෝ, ජාලං මහාජාලං, ජාලිතේ මහාජාලිතේ, ජාලිතං මහාජාලිතං, මුඛේ මුඛේ සම්පත්තේ, මුඛං මුඛං සම්පත්තං, සුතංගමිති සුතං ගමිති, මිගයිති මිගයිති දිට්ඨාලා, මණ්ඩලා, රෝකිලා, කරලා, දුබ්බලා, රිත්ති රිත්ති, ලිත්ති ලිත්ති, කිත්ති කිත්ති, මිත්ති මිත්ති, චිත්ති චිත්ති, විත්ති විත්ති, මුත්ති මුත්ති, වුත්ති වුත්ති, ධාරණි ධාරණිතී,

භවතු සබ්බ මංගලං - රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බ බුද්ධානු භාවේන - සදා සොත්ථි භවංතු තේ (මේ)

පංච මාර ජිතෝ නාථෝ - පත්තෝ සම්බෝධි මුත්තමං

චතු සච්චං පකාසේසි - මහා වීරං නමා’මහං

ඒතේන සච්චවජ්ජේන - සබ්බේ මාරා පලායන්තු

ගිනි පිරිත යන නමින් පිරිත් කිහිපයක් තිබේ. මේ ඉන් එකකි. මෙය විශේෂයෙන් අමනුෂ්‍ය දෝෂවලට හොඳ බව කිය යුතුය. පිරිසිදු තෙලට එකසිය අට වර පිරිත් කර අමනුෂ්‍ය දෝෂ ඇති ගෙවල පහන් දල්වනු. කට්ටකුමන්ජල් පිරිත් කර ගෙයි දුම් දෙනු. අබවලට පිරිත් කර දුම් දීම ප්‍රේත දෝෂවලට වඩාත් හොඳය.

දුටුගැමුණු රජතුමා භාවිත කළ ආරක්ෂක ගාථා

1. බුද්ධො තිලොක සරණො

බුද්ධො සුරියො තමොනුදො

එවං තං සරණං ඛෙමං

බුද්ධො මෙ සරණං වරං

ගච්ඡාමි සරණං බුද්ධං

නත්ථි මය්හං භයං සදා

-

2. ධම්මො තිලොක සරණො

ධම්මො සුරියො තමොනුදො

එවං තං සරණං ඛෙමං

ධම්මො මෙ සරණං වරං

ගච්ඡාමි සරණං ධම්මං

නත්ථි මය්හං භයං සදා

-

3. සංඝො තිලොක සරණො

සංඝො සුරියො තමොනුදො

එවං තං සරණං ඛෙමං

සංඝො මෙ සරණං වරං

ගච්ඡාමි සරණං සංඝං

නත්ථි මය්හං භයං සදා

මේ ගාථා දුටුගැමුණු රජතුමා රන්පතෙහි ලියා හිස පැලැන්දැයි කියති. මෙය ආරක්ෂාව සඳහා කීමට හොඳය.

තවත් ආරක්ෂක ගාථා

1. සිරස්මිං මේ බුද්ධසෙට්ඨො සාරිපුත්තො ච දක්ඛිණෙ

වාම අංසෙ මොග්ගල්ලානො පුරතො පිටකත්තයං

-

2. පච්ඡිමෙ මම ආනන්දො චතුද්දිසා ඛීණාසවා

සමන්තා ලොකපාලාච ඉන්දදෙවා සබ්‍රහ්මකා

-

3. එතෙසං ආනුභාවෙන සබ්බෙ භය උපද්දවා

අනෙකා අන්තරායාපි විනස්සන්තු අසෙසතො

මෙය ජිනපඤ්ජරය වැනි ආරක්ෂාවෙකි. ජිනපඤ්ජරය දිග බැවින් නිතර භාවිතයට අපහසු ය. මෙය පහසුවෙන් භාවිත කළ හැකිය.

අලින්ගෙන් ආරක්ෂාවට

රජගහනුවර අජාසත් රජතුමාට විශාල ශරීරයක් සහ මහත් කාය බලයඇති මහ ගස් පෙරළන බලකොටු බිඳින ගෙවල් පොඩි කර දමන මිනීමරන නාලාගිරි නම් නපුරු ඇතෙක් සිටියේය. දෙව්දත් තෙර රජුගේ අනුමැතිය ලබා ඇත්ගොව්වන් ලවා රාපොවා ඇතු මත් කරවා මහ හඬ නඟා කුලප්පු කරවා බුදුරදුන් පිඬු සිඟා වඩනා වීථියට උන්වහන්සේ මරවනු සඳහා ඇතු යැවී. කෝප වූ ඇත් රජ තෙමේ ඉදිරියට හමු වන සියල්ල සුණු විසුණු කරමින් ගුගුර ගුගුරා බුදුරදුන් වඩනා පෙරමගට ගියේය. කෝප වී එන ඇතුට තථාගතයන් වහන්සේ මෙත් වැඩූ සේක. එයින් ඇතුගේ කෝපයත් මතත් සන්සිඳිණ. සන්සුන් වූ ඇතු සොඬ පහළ හෙළා බුදුරදුන් වෙත එළඹ ඉදිරියේ නිශ්චලව සිටියේය. එකල්හි තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් ඇතුගේ හිස පිරිමදිමින්-

මා කුඤ්ජර නාගමාසදො

දුක්ඛං හි කුඤ්ජර නාගසමාදො

නහි නාගහතස්ස කුඤ්ජර

සුගති හොති ඉතො පරං ගතො.

යනාදිය වදාළ සේක. එකල්හි ඇත් රජ භාග්‍යවතුන් වහන්සේගේ පා මුලින් ධූලි ගෙන හිස ඉස ගෙන බුදුරදුන් පෙනෙන තෙක් පස්සට ගොස් ඇත්හලට ඇතුළුව නිශ්චලව සිටියේය.

අලින්ගෙන් ඇතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා අදත් මේ ගය භාවිතා කරති. නපුරු අලින් ඇතුන් එන විට සිහි කරති. කියති. තල්පත ලියා හේන් කුඹුරු ආරක්ෂා කරති. ගොවිපල ආරක්ෂා කරති. නුවණ ඇති ඇති සැටියට මේ ගාථාවෙන් ප්‍රයෝජන ලබති.

රතන යන්ත්‍රය

7 යෙසුප්ප

12 වනප්ප

1 යානීධ

14 ඛීණං

2 තස්මාහි

13 වරො

8 යථින්ද

11 කිංචාපි

16 යානීධ

3 යංකිංචි

10 සහාවස්ස

5 යම්බුද්ධ

9 යෙ අරිය

6 යෙ පුග්ගලා

15 යානීධ

4 ඛයං විරාගං

රතන යන්ත්‍රයේ ක්‍රම බොහෝ ගණනක් ඇත්තේය. මෙය තිස් හතරේ ප්‍රස්තාර ක්‍රමයයි. මෙහි සටහන් කර ඇති අංක කිනම් අතකට එකතු කළද තිස් හතරක් වනවා ඇත. මෙය ලිවීමට පළල මෙන් පස් ගුණයක් දිග තහඩුවක් ගත යුතුය. පළල දෑඟුලක් නම් තහඩුවේ දිග අඟල් දහයක් විය යුතුය. පළල අඟල නම් දිග අඟල් පහක් ගත යුතුය. කුඩාවට හෝ මහතට හෝ කැමති ප්‍රමාණයකට යන්ත්‍ර තහඩුව ගත හැකිය. කිනම් ප්‍රමාණයකට තහඩුව ගත ද එහි පළල මෙන් පස් ගුණයක් දිග ගත යුතුය. යන්ත්‍රයයේ දිග පළල ගැනීම ශාස්ත්‍රානුකූලව කළ යුත්තකි. පළල මෙන් දෙගුණයක් හෝ සතර ගුණයක් දිග යන්ත්‍රය අශුභය. තුන් ගුණයක් හෝ පස් ගුණයක් දික් වීම සුභය.

මෙහි දැක්වෙන යන්ත්‍ර සැලැස්මෙහි දක්වා ඇත්තේ ගාථාවල මුල් වචන පමණෙකි. යන්ත්‍රයක් පිළියෙල කිරීමේදී ගැබ්වල අංක යොදා ගාථා සම්පූර්ණයෙන් ලියා ගත යුතුය. අකුරු එකින් එක නො කැපෙන ලෙස ද රේඛා නො කැපෙන ලෙස ද ලිවිය යුතුය. සුභ මොහොතින් යන්ත්‍රය ලියා ගැනීම වඩාත් හොඳය. යන්ත්‍රය පිරිත් කිරීමේදී පිරිසිදු තැනක පූජාසනයක් පිළියෙල කොට එහි මල් පහන් ආදිය තුනුරුවන් උදෙසා පුදාපූජාසනයට මදක් පහතින් යන්ත්‍රය තබාගෙන රතන සූත්‍රයෙන් 108 වරක් පිරිත් කර ගත හොත වඩා හොඳය. දහස් වරක් පිරිත් කළ යන්ත්‍රයේ අනුහස බොහෝ බව කියති.

යන්ත්‍රයට බලය කා වැද්දවීමට ද එය ප්‍රාණවත් කිරීමට ද ඔප කිරීමට ද යොදන යන්ත්‍ර දෘෂ්ටි, යන්ත්‍රප්‍රාණ, යන්ත්‍ර පලිප්පු, විධිද ශාස්ත්‍රයෙහි ඇත්තේ ය. ඒවා ද මේ පිරිත් යන්ත්‍රවලට ද යොදා ගැනීම යහපති.

මේ රතන යන්ත්‍රය ආරක්ෂාවට ග්‍රහ අපලයට රෝගවලට බොහෝ ගුණ දෙන යන්ත්‍රයකි.

නවගුණ යන්ත්‍රය

මෙය සතරැස් තහඩුවේ සතරැස් කොට ඇඳ නවගුණ පාඨයෙන් දහස් වර පිරිත් කර පළඳවනු. නපුරු සිහින පෙනෙනවාට අමනුෂ්‍ය දෝෂවලට ග්‍රහ අපලවලට යහපති. මෙය අටවිසි පිරිතෙන් පිරිත් කිරීමට ද ඇතැම් පිටපත්වල කියා තිබේ.

තිසරණ යන්ත්‍රය

“බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. යන මෙයින් දහස් වර ජප කර පළඳිනු. සර්වාරක්ෂාවටයි. මැද හිස්ව ඇති ගැබෙහි ශ්‍රී අකුර හෝ නමෙහි මුල් අකුර යොදනු.

සබ්බපාපස්ස ගාථාව

සබ්බපාපස්ස අකරණං

කුසලස්ස උපසම්පදා,

සචිත්ත පරියෝ දපනං

ඒතං බුද්ධාන’සාසනං

මෙය එක් බුදුවරයකු විසින් ම නොව අතීතයෙහි ලොව පහළ වූ සියලු බුදුවරයන් විසින් වදාළ භාවිත කළ ගාථාවකි. අනාගතයෙහි පහළ වන ලොවුතුරා බුදුවරයෝ ද මේ ගාථාව භාවිතා කරන්නාහ. එබැවින් මේ ගාථාව ඉතා ආනුභාව සම්පන්නය. මේ ගාථාව නුවණ ඇති ඇති සැටියට නොයෙක් දෙයට යොදා ගත හැකිය. දැවිල්ලට හා නොයෙක් ආබාධවලට මේ ගාථාවෙන් තැඹිලි මතුරා දෙති. හිසරදය දත් කැක්කුම කන් කැක්කුම බඩේ කැක්කුම අජීර්ණ වාත වේදනා යනාදියට සුදුසු පරිදි තෙල්, දෙහි ඇඹුල්, ඉඟුරු ආදිය මතුරා දෙති. ආරක්ෂාදී තවත් නොයෙක් දෙයට ද මේ ගය යොදති. මේ ගාථාවෙන් කරන වැඩ බොහෝ සෙයින් හරියන බව ද බොහෝ දෙනා කියති.

සබ්බපාපස්ස යන්ත්‍රය

මේ යන්ත්‍රය ජප කරන කල්හි පිරිසිදු තැනක පූජාසනය පිළියෙල කොට එහි කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන සිව්බුදුවරුන් උදෙසා පූජා සතරක් ද විෂ්ණු දෙවියන්ට පූජාවක් ද තබා සඳුන් අගිල් තුවරලා යන මේවායින් දුම් දෙමින් සබ්බපාපස්ස ගාථාවෙන් දහස් වරක් ජප කරනු. මත්ස්‍ය මාංසානුභවයෙන් වැළකී කරත හොත් වඩාඵල ලැබෙන බව කියා තිබේ.

මේ යන්ත්‍රය පැළඳීමෙන් අමනුෂ්‍ය දෝෂ මල්වර තනිකම් දෝෂ වින දෝෂ ග්‍රහ දෝෂ භූමි දෝෂ දුරු වී වැඩිදියුණුව සැලසෙන බව කියා තිබේ. මෙය සියල්ලෙන් ම ආරක්ෂාවට ඉතා හොඳය. ලක්ෂවාරයක් ජපකරගතහොත් බොහෝ ගුණ ලැබේ. වෙඩි පවා නො වදින බව කියති.

සබ්බ පාපස්ස සාදන තවත් ක්‍රමයක් මෙසේය. සිවුරැස් තහඩුවක් ගෙන එහි සිවුරැස් කොටුව ඇඳ මැද බුදු රුව ඇඳ එය වටා සබ්බපාපස්ස ගාථා ව ලියා පෙර කී පරිදිම ජප කර ගත යුතුය.

ජලනන්දන යන්ත්‍රය

මෙම යන්ත්‍රය තහඩුවෙක ඇඳ පිරිසිදු තැනෙක මල් බුලත් ආදිය පූජා පිණිස තබා පහන් දල්වා සුවඳ දුම් දෙමින් ජලනන්දන පිරිතෙන් දහස් වර ජප කර පළඳිනු. ජලනන්දන පිරිත ගැන කී ගුණ සියල්ල ලැබේ. අන වින නො වැදීමට හා අනවින දෝෂ දුරු වීමටත් රෝග සුවවීමටත් මෙය විශේෂයෙන් යහපති.

යන්ත්‍රය පැළඳවීමේදී සෙත් පිණිස කියන ජයමංගල ගාථා

1. මහාකාරුණිකෝ නාථෝ හිතාය සබ්බපාණිනං

පූරෙත්වා පාරමී සබ්බා පත්තෝ සම්බෝධිමුත්තමං

එතේන සච්චවජ්ජේන හෝතු තෙ ජයමංගලං

-

2. ඵලනිබ්බානජං සෙරී සෙවමානො රසුත්තමං,

බොධිමූලෙ වසී සත්තදිවසානි විනායකො

එතෙන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

3. සත්තාහං ඨිතකො බුද්ධො ඤාපෙතුං ච කතඤ්ඤුතං

බෝධිං අනිමිසක්ඛිහි සම්මා පූජෙසි පූජියං,

එතෙන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

4. විමුත්තිජං සුඛ වින්දං පරිපුණ්ණමනොරථො,

චංකමෙ චංකමි බුද්ධෝ සත්තාහං රතනාමයෙ,

එතෙන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

5. නිසින්නො භගවා රම්මෙ මන්දිරෙ රතනුජ්ජලෙ,

සත්තාහං සම්මධි සම්මා ධම්මධාතු මනුත්තරං,

එතෙන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

6. සංකොචයිත්වා මාරත්ථි මුඛම්බුජ වනං භූසං,

සත්තාහං අජපාලස්ස මූලෙ බුද්ධසසී වසී,

එතෙන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

7. සත්තාහං මුචලින්දස්ස එණිනො භොගමන්දිරෙ,

වසී වසී මහාවීරො තදනුග්ගහබුද්ධියා,

එතෙන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

8. භුඤ්ජමානො සුඛං සෙට්ඨං චිරලද්ධං විමුත්තිජං,

රාජායතන මූලම්හි සත්තාහං භගවා වසී,

එතෙන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

9. සීලමය චතුපත්තෙ මහාරාජෙහි ආහටෙ,

මුඛරෙඛා සමානම්හි මධුපිණ්ඩං අභුඤ්ජි සො,

එතෙන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

10. නන්දොපනන්ද භොගින්දං උග්ගතෙජං මුනිස්සරො,

දමෙත්වා සකතෙජෙන දරණෙසු නිවෙසයි,

එතෙන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

11. අජ්ඣිට්ඨො බ්‍රහ්මුනා බුද්ධො රම්මෙ බාරාණසී පුරේ

ධම්මචක්කං පවත්තෙසි පරිස්සාසු විනායකො,

මාපයිත්වා ධම්ම්නාචං කතපුඤ්ඤං මහාජනං

භවණ්ණවස්ස පාපෙසි පාරං කාරුණිකො ජිනො,

අඤ්ඤා කොණ්ඩඤ්ඤ්පමුඛෙ භික්ඛුඛීණාසවෙ ජිනො,

විධාතුං ධම්මදූතෙය්‍යං විස්සජ්ජෙසි තහිං තහිං

එතෙන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

12. උරුවෙලං ජිනො ගන්ත්වා දස්සෙත්වා පාටිහාරියං

දස්සෙත්වාන තහිං භික්ඛු දමෙසි කස්සපාදිකො

එතෙන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

-

13. සසාවකො ජිනො ගන්ත්වා රම්මං රාජගහං පුරං

බිම්බිසාරං සානුවරං මනුජින්දං අබොධයි

පටිග්ගහිතෙ බුද්ධෙන රම්මෙ වෙළුවනුත්තමෙ

මහාමහී පකම්පිත්ථ නච්චමානාච පීතියා,

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං,

-

14. තත්ථ වස්සං වසිත්වාන නාථො රාජගහෙ පුරෙ

ඤාතීනං සංගහත්ථාය අගමාසි කපිලං පුරං

සමාගන්ත්වා තහිං ඤාති අභිමානං අකංසු තෙ

තං සුත්වාන මහාවීරො රවීව නභමුග්ගතො

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

-

15. සංසාර සාගරා ලොකං සන්තාරෙන්තො සදෙවක

සාවත්ථි නගරෙ රම්මෙ චිරකාලං වසී ජිනො

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං,

-

16. ගණ්ඩබ්බරුක්ඛමූලම්හි යමකං පටිහාරියං

දස්සෙත්වා තිත්ථියෙ බුද්ධො පලාපෙසි තහිං තහිං

පදානං වීතිහාරෙහි තීහි දෙවනගිස්සරං

පාටිහාරාවසානම්හි අගමාසි නරුත්තමො

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

-

17. ගන්ත්වා සුරින්දභවනං මහන්තෙ පණ්ඩුකම්බලෙ

නිසීදි බුද්ධපීඨෙව ජිනො වරසිලාසනෙ,

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

-

18. තිදසින්දපුරෙ වස්සං වසං මාසත්තයං තහිං

දෙවානං දෙසයි බුද්ධො අභිධම්මනුත්තරං

වුත්තවස්සො පවාරෙත්වා මණිනිස්සෙණියං මුනි

වත්තමානම්හි සක්කාරෙ මනුස්සපථ මාගාමි

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

-

19. බ්‍රහ්මාසුරසුරාදීහි පරිකිණ්ණො තථාගතො

ඔරොහන්තො මහන්තං සො අච්ඡෙරං දස්සයී තදා

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

20. දෙවොරොහන කාලම්හි ආනුභාවං මහෙසිනො

පස්සිංසු යෙ තදා සබ්බේ බුද්ධත්තං පත්ථයිංසු තෙ

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

-

21. සංකස්සනගරද්වාරෙ ධම්මො බුද්ධෙන දෙසිතො

බහුන්නං ජනකායං ධම්මභිසමයො අහු

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

-

22. අනත්ථකාරිං ලොකස්ස චොරං අංගුලිමාලකං

මෙත්තොසධෙන සම්බුද්ධො නිම්මදං අකරි භූසං

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

-

23. විබ්භන්තං මදවෙගෙන නාළාගිරිකරිස්සරං

මෙත්තොසධෙන සම්බුද්ධො නිම්මදං අකරි භූසං

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

-

24. යක්ඛං ආලවකං බුද්ධො දුද්දමං අතිකක්ඛලං

විනයඤ්ඤු පවෙදසි සොතාපත්ති ඵලුත්තමෙ

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

-

25. වධකෙ දෙවදත්තම්හි චොරෙ අංගුලිමාලකෙ,

ධනපාලෙ රාහුලොචාපි සබ්බත්ථ සම්මානසො

චතුද්දිසොපයාතෙහි වාතෙහි පබ්බතො විය,

අකම්පනියො සම්බුද්ධො ලොකධම්මෙහි අට්ඨහි,

ධම්මධිපතිනො පාදෙ ඵුල්ලපංකරුහොපමෙ,

දිස්සතෙ සබ්බසො සබ්බේ අයං ලොකො අසංකරො

අචින්තෙය්‍යප්පභාවස්ස උත්තමංගං මහෙසිනො,

පස්සිතුං නෙව සක්කොන්ති බ්‍රහ්ම ලොක ගතා අපි,

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

26. සද්ධම්මදෙසනාකාලෙ පිට්ඨිභාගාදිනිස්සිතා,

පුණ්ණචන්දං’ව ගගණෙ මුඛං පස්සන්ති සත්ථුනො

මුනුන්දො මූලභාසාය දෙසෙන්තං ධම්මමුත්තමං

ජානන්ති සත්තා සබ්බේපි සක භාසාය සබ්බසො

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

27. ආභවග්ගා නිසින්නාසු පරිසාසු විනායකො,

චිත්තෙ ගහෙත්වා දෙසෙසි ධම්මං තෙසං විසුං විසුං

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

28. ඤාතා සබ්බස්ස සම්බුද්ධො සද්ධම්මොච තමොනුදො

සංඝො සුපටිපන්නොති යං තං අවිතථං ධුවං

ජාතිදුක්ඛපරෙතානං බුද්ධාදිරතනත්තයං

සබ්බදා සබ්බපාණිනං තාණං ලෙනං පරායනං

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං.

-

29. නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

-

30. නත්ථි මෙ සරණං අඤ්ඤං ධම්මො මෙ සරණං වරං

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

-

31. නත්ථි මෙ සරණං අඤ්ඤං සංඝො මෙ සරණං වරං

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

-

32. ඉච්චෙව සච්ච කිරියා කුරුතෙ ජනො යො

පාතො ච සායම්පි බුද්ධගුණෙ ගහෙත්වා

සබ්බං පරිස්සයමිදං පිච හන්ත්ව මෙතං,

පච්ඡාස නිබ්බුති පදං සමුපෙති සෙට්ඨං

නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං

එතේන සච්චවජ්ජේන හොතු තෙ ජයමංගලං

මෙය කවරෙකුගේ කෘතියක්දැයි නො දනිමු. යෙදුම් එතරම් ව්‍යක්ත නැත ද මෙවැනි දෙයට කැමැති අයගේ ප්‍රයෝජනය පිණිස මෙයට ඇතුළු කරන ලදී.

රතන සූත්‍රයේ ගාථාවලින් කරන ගුරුකම්

(පැරණි වට්ටෝරුවක්)

  1. යානීධභූතානි යන ගය ජප කරන කළ සඟනට කිරිබත් දී යහපත් පිළි සමඟ ගෙයක් ඇතුළත කිරිබත් පුදා හෙළඟිතෙලින් පාන් පුදා මල් සුවඳ ආදිය පුදා හිස් සෝදා නහා මා සිතූ දෙය සිද්ධවේවා යි බුදුන්ට ආරාධනා කොට අකවැලක් ගෙන අටතුරාසියක් දපනු. කැමති දෑ සිද්ධ වේ.
  2. යංකිඤ්චිවිත්තං ගය දපන කළ බුදුනට විළඳ වට පුදා සඟනට කිරිබත් දී අටතුරාසියක් දැපුව හැම වැඩ සිද්ධ වේ. ඔයින් හෝ මූදින් හෝ වැලි ගෙන මෙම ගය අටතුරාසියක් පිරුවා තමා වසන ගෙයි පිවිසෙන දැමුව යක්කු නොවදී. සැම රෝග භය දුරු වේ. යම් භයක් ඇති මඟක යන කල තුන් පුරුකක සිටුවා ඊතණ ගසක් කඩාගෙන ඊට අටෝරාශියක් මතුට හිස පැළඳ මඟ කිය කියා යනු. භය දුරු වේ. ගොරද ගෙන කඩෙක රඳා එක් විසි විටෙක මතුට තිලක දී රජුන් ආදී දක්නේ. රාජවෛශ්‍යාවයි. බාලයන් එක්වැනි අඬත් පිපි අළුවට මතුට තිලක දෙනු. නාඬත්. මේ හැම සැක නොකරනු.
  3. ඛයං විරාගං යන ගය වැසි නො වසී නම් දේවතාරාධනා කොට තුනුරුවන්ට ද මහාබෝධියට ද කිරිබත් පුදා සංඝාරාම මධ්‍යයෙහි දී අනුන් හා නො බැණ හිඳ දපුව. වැසි වසී. යමක් හට භයක් ඇත. පිරිත් කොට ගොසින් දක්නේ. බය දුරු වේ. සර්පයින් කෑව තල්වැටට මතුට ඇඟට සලනු. විෂ හැරේ. සත්විටෙක අතට මතුට ආකර්ෂණයෙන් ගත විෂ බසී. අටතුරාසියක් පිරුවා රුජා හරණේ. සැක නො කරනු.
  4. යංබුද්ධසෙට්ඨො යන ගය අටෝරාසියක් සමන් මලට මතුට දාගැබ් මහබෝ පිළිම ගෙයි පුදනු. හැම උපද්‍රව දුරු වේ. සෑම රෝගයට පැන් මතුට පොවනු. සමන්මලට මතුට හිසලා සටනට වදින්නේ. ජය ගනිත්. එම මලට මතුට ගාලේ ලනු. සොරු නො ගනිත්. එම ගය අටතුරාසියක් මතුට ගවයන් නාවනු. ගවයෝ බොහෝ වෙත්. මෙම ගය සපුමලට මතුට වස්සන් ගවයන් සිටිනා ගාල ලුව නිරෝගි වෙත්. බෝ වෙත්. මෙම ගය පැන් මතුට ඔසප් ගන්නා දා පැන් පොවනු. දරුවෝ සිටිත්. මෙම ගය සපු මලට මතුට කොටු ගෙයි තබනු. වි නොගෙවේ. පිළි පෙට්ටියේ තැබුව පිළි උපදී.
  5. යෙ පුග්ගලා යන ගය අටතුරාසියක් අතට මතුට තෙලට මතුට ඇඟ අත ගානු. ශ්‍රියා ඇති වේ. සැම දෙන වශී වෙත්. භය දුරු වේ. සතුරු පහ වෙත්. අනුන් අතින් කැමති දෙය ඉල්ලනු. ලැබේ. අනුන් හා යුක්ති බණන වේලේ මේ ගය කියා බණනු දිනත්.
  6. යෙ සුප්පයුත්තා යන ගය තමා කළ දෑ සැල නො කරනු. කෑමට සාල් ගිරූ තැනේ අකුරු සතක් ගෙන එක එක අකුරට සත් සත්විට මතුට ගෙදර සතර කොණ ද ගෙමැද ද ඉස් දොර ද පාමුල ද තබනු. තමා කළ දෑ සැල නොවේ. අනුන් හා යුක්ති බණන කළ කාඩි සැළිය තිබුණු තැනින් අකුරක් ගෙන සුවඳ පැනින් සෝදා මතුට දුමෙහි ලනු. දකුණු පය පෙරට තබනු. දිනත්. කුරුවණුවන් කෑ පතක් කෙම්වර දා පේ කොට තමා ගන්නා ආයුධය අල්ලන කල ඉන් පතක් කපා ඊට අටතුරාසියක් පිරුවා සටනට යන කල ඉස පතක් තබනු. පෙකනියේ පතක් තබනු. පිළිකණ පතක් තබනු. එක අතක් දකුණ තබනු. සැර ඇඟ නොගනී. මීට සැක නො කරනු.
  7. යථින්දඛීලො යන ගය සමන් මලට අටතුරාසියක් පිරිත් කොට මහ සෑයේ මහ බෝධියේ පිදුව දෙවියෝ අරක් ගනිත්. සතුරෝ නොවෙත්. හැමකම් සිද්ධ වේ. රුජා පහරත්. තෙලට පිරිත් කොට රුජාස්ථානය මඬනේ. රුජා නැති වේ. පිරිත් කොට පය බිම තැබුව සතුරෝ නොවෙත්.
  8. යෙ අරියසච්චානි යන ගය තමාට අනුන් විසින් භයක් ඇත. එක්වන් පිරුවනු. සතුරු භය නොවේ. මෙම ගය මීතෙලට මතුට ඇඟ ගානු. ශ්‍රියා ඇතිවේ. සර්පභය අග්නි භය යක්ෂ භය පිශාච භය ශරීරායාස ආදී වූ සියළු භය නසා මෙම ගය තමහට උගහටයක් ඇත. එක්වන් හදාරනු. දනන් විසින් භය නොවේ. තමහට නපුරක් කරන කියන කෙනෙක් ඇත්නම් රක් හෝ ගොරද හෝ සඳුන් හෝ ගෙන අටෝරාසියක් මතුට මහසෑයේ ඉස්නේ. වෙර පසඟුල් දෙනු. අනුන් කළ කී දෙය නො අසා මෙම ගය සඳහන් කරනු. මෙහි සැක නොකරනු.
  9. සහාවස්ස යන ගය අටතුරාසියක් දපා බුදුන්ට පාන් පුදා සඟනට කිරිබත් පුදනු. හැම දෑ සිද්ධ වේ. තැඹිලි ගසක් පිටට ලා හිඳ අටතුරාසියක් පිරුවා ගසින් මලක් පළඳින්නේ සැර ඇඟ නොගනී. එම ගය කිය කියා සතුරන් කරා වදිනේ ජය ගනිත්. අනුන් තම හට එක්වන් කේලාම් කියත් රක් හෝ ගොරද හෝ සඳුන් හෝ ගෙන අටතුරාසියක් මතුට මහාසැයේ පුදනු.
  10. කිඤ්චාපි සො යන ගය පස්වණක් බත් වෙන වෙන ම පිඬු කොට එලවරා පත් පිට තබනු. සතුරෝ ඇස නො පෙනෙත්. දකුණතින් බිජුවට අල්වා මෙ ගයින් පිරිත් කොට බිජුවට වපුළ සතුන් විසින් උපද්‍රව නොවේ. මේ ගය කිය කියා කුඹුර සිසාරා පිරිත් බණනු. ඌරෝ නොකත්. සොරුන් විසින් උපද්‍රව නො වේ. මෙය රක් හෝ ගොරද හෝ බෙර ඇස ලියා වපුළ වීයේ නම කියා කුඹුර නම කියා වපුළවුන් නම කියා පසු නො බලා පාන බලා කලිල දණ්ඩෙන් බෙර ගසනු. බෙර ඇසූ තෙක් මානේ මැස්සෝ නො කත්. එදවස් මනිවා ආදී පස්පව් නොකරනු. රතක් ඇඳ රතක් ඉස බැඳ රතක් පෙරව රතක් වෙර වසා බෙර ගසනු. මෙමේ කුඹුර පසක මිනිසුන් නො දක්නා තැනක ලගිනු. මෙම ගය එක් විසි විටෙක ගලට මතුට එකතුරු පට ගැටලා කිඹුලුන් ඇති තැනින් යනු. උපද්‍රව ඇති නොවේ. දණ්ඩක් ගෙන පාන් සියල්ලට අටෝරාසියක් මතුට පිරිවා ගෙන බිම බලා ගෙන යේ නම් මෙහි සැක නො කරනු.
  11. වනප්පගුම්බෙ යන ගය අටෝරාසියක් පැනට මතුට ප්‍රශව නොහෙන්නාට පැන් පොවනු. ප්‍රශව වෙත්. මෙම ගය පිරිත් කොට ඇඟ ගානු. ශ්‍රී ඇති වේ. අටෝරාසියක් බිජුවට මතුට වපුළ අසු පෑ බොහෝ වේ. මෙම ගය පැනට සත්විටක් මතුට කොටුගෙයි ඉස්නේ, වී වහා නො ගෙවේ. අටතුරාසියක් මතුට පාන්පානේ බිම බලා බසී නම් ඒ සලකුණෙන් බිම බව දන්නේ. මෙහි සැක නොකරනු.
  12. වරොවරඤ්ඤු යන ගය පිරිත් කොට පැන් ඉස්නේ. පිළි බොහෝ වේ. වී කොටුගෙයි ලනු. නො ගෙවේ. ඉපියන් මීයන් උපද්‍රව නොවේ. බිජුවට මතුට වපුරනු. ගස කරල් යහපත් වේ. බුදුන් මාර පරාජය කළ සේ සිතා වැද කොටනු. ජය ගනිත්. නැවත සතුරන් කරා ගොස් මෙම ගය කිය කියා ආයුධ ගන්නා වේලේ මෙම ගය කියන්නේ වැඩ වේ. රක් හෝ ගොදරක් හෝ ගෙන පිළියේ අර්ධ චන්ද්‍රයා ඇඳ වමතින් සතුරන් ඇසට පානේ. ඇකිළෙත්. කුස දරුවන් වසත හොත් පිරිත් පැනින් නාවනු. දුක් අන්තරා නැති. අතට මතුට ගඩුවේ අල්ලනු. වහා විකා සමන් මලට මතුට ඉස්ලා රජුන් දක්නේ. රාජ වෛශ්‍යාවයි. මීට සැක නැති.
  13. ඛීණං පුරාණං යන ගය පැනට මතුට ගෙයි ඉස්නේ සියලු උපද්‍රව දුරු වේ. මෙම ගය පිරිත් කොට සරක් ගාල කනු. කොටුගෙයි ලනු. නො ගෙවේ.
  14. යානීධභූතානි යන තුන් ගය කුඩා දරුවන් හඬත් පිරිත් කොට නාවනු. බය හැරේ.

මෙම වට්ටෝරුව ඇතැම් තැන් තේරුම් ගැනීම අපහසු ය. තුබුණු සැටියට මෙහි පළ කරන ලදී. මේ ගුරුකම් හරියන්නේ ගෞරවයත් විශ්වාසයත් ඇති අයට ය.

සර්ප විෂ බැස්සවීමට

1. සත්තාහං මෙවාහං පසන්න චිත්තො

පුඤ්ඤත්ථිකො අචරිං බ්‍රහ්මචරියං,

අථාපරං යං චරිතං මමෙදං

වස්සානි පඤ්ඤාස සමාධිකානි,

අකාමකොවා’පි අහං චරාමි

එතෙන සච්චෙන සුවත්ථි හොතු

හතං විසං ජීවතු යඤ්ඤදත්තො.

-

2. යස්මා දානං නාභිනන්දිං කදාචි

දිස්වාන’හං අතිථිං වාසකාලෙ

න චාපී මෙ අප්පියතං අවෙදුං

බහුස්සතා සමණබ්‍රාහ්මණා ච,

අකාමකොවාපි අහං දදාමි

එතෙන සච්චෙන සුවත්ථි හොතු,

හතං විසං ජීවතු යඤ්ඤදත්තො.

-

3. ආසිවිසො තාත පහූත තෙජො

යො තං අඩසිං බිලසා උදිච්ච

තස්මිං ච මෙ අප්පියතාය අජ්ජ

පිතරීච තෙ නත්ථි කොචි විසෙසො,

එතෙන සච්චෙන සුවත්ථි හොතු

හතං විසං ජීවතු යඤ්ඤදත්තො

එක් කලෙක මහා බෝසතාණන් වහන්සේ බමුණු කුලයෙක ඉපිද අසූ කෝටියක් ධනය හැර පැවිදිව හිමවතට ගොස් එහි පනස් වසරක් පමණ කල් වාසය කොට ලුණු ඇඹුල් සේවනය කරනු පිණිස කසී රට එක් ගමෙක වෙසෙන මණ්ඩව්‍ය නම් තැනැත්තකු වෙත ගියහ. මණ්ඩව්‍ය පන්සලක් කොට උන්වහන්සේ එහි වාසය කරවා ගෙන සිවුපසයෙන් උපස්ථාන කළේය. එක් දවසක් මණ්ඩව්‍ය සිය බිරිඳ හා යඤ්ඤදත්ත නමැති ඔහුගේ දරුවා ද සමඟ බෝසතාණන් වහන්සේ දක්නට ඔහුගේ අසපුවට ගියේය. ඔහු තාපසයන් හා කතා කරමින් ඉන්නා අතර යඤ්ඤදත්ත පන්දුවක් ගෙන තාපසයන් වහන්සේගේ සක්මන කෙළවර ක්‍රීඩා කරමින් හුන්නේ ය. ඔහුගේ පන්දුව ඒ සමීපයෙහි තුබූ තුඹසක සිදුරට වැටිණ. එහි සර්පයෙක් වෙසෙයි. යඤ්ඤදත්ත පන්දුව ගැනීම සඳහා තුණස් කටෙහි අත යැවීය. පන්දුව වැටීමෙන් කෝප වී උන් සර්පයා යඤ්ඤදත්තගේ අත දෂ්ඨ කළේය. ඔහු විෂයෙන් මුර්ඡා වී එතැනම වැටිණ. ඔහුගේ මාපියෝ ඔහු දැක සර්පයෙකු දෂ්ඨ කර ඇති බව දැන වහා දරුවා ඔසවා ගෙන ගොස් තාපසයන්ගේ පාමුල තබා දරුවා සනීප කර දෙන ලෙස ඉල්ලා සිටියහ. තාපසයාණෝ “මම වෙදකම් නො දනිමි” යි කීහ. “එසේ නම් ස්වාමිනි! මෛත්‍රීය පෙරදැරි කොට මේ දරුවාට සත්‍ය ක්‍රියාවක් මුත් කළ මැනව” යි කීහ.

තාපසයන් වහන්සේ මැනවැ යි කියා යඤ්ඤදත්තගේ හිස මත අත තබා “සත්තාහමෙවාහං පසන්න චිත්තො” යනාදී ගය කියා සත්‍යක්‍රියා කළහ. එකෙණෙහි යඤ්ඤදත්තගේ සිරුරෙහි හිස පටන් තන දක්වා පැවති විෂ බැස ගියේය. දරුවා ඇස් ඇර බලා “අම්මේ” යි කථා කොට හැරී නිදා ගත්තේය. බෝසතාණෝ “මා විසින් කළ හැකි දෙය කරන ලද්දේය. ඔබද කළ හැකි දෙයක් කරන්න” යයි දරුවාගේ පියාට කීහ. එකල්හි පියා ද “යස්මා දානං නභිනන්දිං කදාචි” යනාදි ගය කියා සත්‍යක්‍රියා කළේය. එයින් තුනටිය දක්වා විෂ බැස ගියේය. දරුවා වාඩි විය. නැගිටිය නො හැකි විය. එකල්හි පියා බිරිඳට කථා කොට “අපි අපට කළ හැකි හරිය කළෙමු. තී ද තිට කළ හැකි සත්‍යක්‍රියාවක් කරව” යි කීය. බිරිඳ කියන්නී “හිමියනි! මගේ ද එක් සත්‍යයක් ඇත. එය ඔබ ඉදිරියේ නො කිය හැකිය” යි කීවාය. “සොඳුර, කුමක් කීව ද වරදක් නැත. කෙසේ හෝ මේ දරුවා සුවපත් කරන්න” යි පියා කීය. එකල්හි ඕ “ආසිවිසො තාත බහුත්තතෙජො” යනාදී ගය කියා සත්‍යක්‍රියා කළාය. එකෙණෙහි ඉතිරිව තුබූ විෂ ද බැස ගොස් යඤ්ඤදත්තට සම්පූර්ණ සුවය ලැබිණ. ඔහු නැවත ද ක්‍රීඩා කරන්නට විය.

මේ ගාථා හා කථා පුවත ජාතක අටුවාවේ දසක නිපාතයෙන් ගන්නා ලදී. කථාව දික් එකකි. දනු කැමතියන් ජාතක පොතින් බලා ගත යුතුය. මෙය කණ්හදීපායන ජාතක නමින් ජාතක අටුවාවේ සඳහන් වේ. මේ ගාථාවලින් යම් කිසිවකු විෂ බැස්වීමක් කරනු අප විසින් දැක නැත. බෝසතාණන් වහන්සේගේ අන් සත්‍යක්‍රියාවල ආනුභාවය අදත් තිබෙන්නාක් මෙන් මෙහි බලය ද අදත් තිබිය යුතුය. මෙය විමසා බලත්වා. මෙය විමසනු කැමති නම් පළමුවෙන් ගාථා තුන හොඳින් පාඩම් කර කලක් සජ්ඣායනා කරමින් හොඳින් ප්‍රගුණ කර ගෙන සිට සර්පයෙකු දෂ්ඨ කරන ලද කෙනෙකු මුණගැසුණු විටක අනෙක් මන්ත්‍ර කරන්නාක් මෙන් දෙහි අත්තක් ගෙන් එයින් විෂ ඇති තැන පිරිමදිමින් මේ ගාථා කියනු. අඩුම ගණන සත්වරක් කියනු. එයින් ගුණ පෙනුන හොත් සම්පූර්ණයෙන් විෂ බසින තුරු මතුරනු.

ජිනපඤ්ජරය

1. ජයාසනගතා වීරා - ජෙත්වා මාරං සවාහිණිං

චතුසත්තාමතරසං - යෙ පිවිංසු නරාසභා

-

2. තණ්හංකරාදයො බුද්ධා - අට්ඨ වීසති නායකා

සබ්බේ පතිට්ඨිතා(මය්හං) - මත්ථකෙ තෙ මුනිස්සරා

-

3. සිරෙ පතිට්ඨිතා බුද්ධා - ධම්මොච (මම) ලොචනෙ

සංඝො පතිට්ඨිතා (මය්හං) - උරෙ සබ්බ ගුණාකරො

-

4. හදයෙ අනුරුද්ධො ච - සාරිපුත්තො ච දක්ඛිණෙ

කොණ්ඩඤ්ඤො පිට්ඨිභාගස්මිං - මොග්ගල්ලානොසි වාමකෙ

-

5. දක්ඛිණෙ සවනෙ (මය්හං) - ආහුං ආනන්ද රාහුලා

කස්සපො ච මහානාමො - උභෝසුං වාමසෝතකෙ

-

6. කේසන්තෙ පිට්ඨිභාගස්මිං - සුරියො විය පහංකරො

නිසින්නො සිරිසම්පන්නො - සොභිතො මුනිපුංගවො

-

7. කුමාරකස්සපො නාම - මහෙසී චිත්‍රවාදකො

සො (මය්හං) වදනෙ නිච්චං - පතිට්ඨාසි ගුනාකරො

-

8. පුණ්ණො අංගුලිමාලො ච - උපාලී නන්ද සීවලී

ථෙරා පඤ්ච ඉමෙ ජාතා - ලලාටේ තිලකා (මම)

-

9. සෙසාසීති මහාථෙරා - විජිතා ජිනසාවකා

ජලන්තා සීලතෙජෙන - අංගමංගෙසු සන්ඨිතා

-

10. රතනං පුරතො ආසි - දක්ඛිණෙ මෙත්තසුත්තකං

ධජග්ගං පච්ඡතො ආසි - වාමෙ අංගුලි මාලකං

-

11. ඛන්ධ මොර පරිත්තඤ්ච - ආටානාටිය සුත්තකං

ආකාසච්ඡදනං ආසි - සෙසා පාකාර සණ්ඨිතා

-

12. ජිනානා බල සංයුත්තේ - ධම්ම පාකාරලංකතෙ

වසතො (මෙ) චතු කිච්චේන - සදා සම්බුද්ධ පඤ්ජරෙ

-

13. වාත පිත්තාදි සංජාතා - බාහිරජ්ඣන්තුපද්දවා

අසෙසා විලයං යන්තු - අනන්ත ගුණ තෙජසා

14. ජිනපඤ්ජර මජ්ඣට්ඨං - විහරන්තං මහීතලේ

සදා පාලෙතු (මං) සබ්බේ - තේ මහා පුරිසා සභා

-

15. ඉච්චේවමච්චන්තකතො සුරක්ඛො

ජිනානුභාවෙන ජිතූපපද්දවො

බුද්ධානුභාවෙන හතාරි සංඝො

(චරාමි) සද්ධම්මනුභාව පාලිතො

-

16. ඉච්චේවමච්චන්තකතො සුරක්ඛො

ජිනානුභාවෙන ජිතූපපද්දවො

ධම්මානුභාවෙන හතාරි සංඝො

(චරාමි) සද්ධම්මනුභාව පාලිතො

-

17. ඉච්චේවමච්චන්තකතො සුරක්ඛො

ජිනානුභාවෙන ජිතූපපද්දවො

සංඝානුභාවෙන හතාරි සංඝො

(චරාමි) සද්ධම්මනුභාව පාලිතො

-

18. සද්ධම්ම පාකාර (පරික්ඛිතොස්මි)

අට්ඨාරියා අට්ඨදිසාසු හොන්ති

එත්ථන්තරේ අට්ඨනාථා භවන්ති

උද්දං විතානංව ජිනා ඨිතා(මෙ)

-

19. හින්දන්තො මාරසේනං තව (මම) සිරසා ඨිතො, බෝධිමාරුය්හ සත්ථා

මොග්ගල්ලානොසි වාමේ වසති භුජතටෙ, දක්ඛිණෙ සාරිපුත්තො

ධම්මො මජ්ඣෙ උරස්මිං විහරති භවතො, මොක්ඛතො මොරයොනිං,

සම්පත්තො බෝධිසත්තො චරණයුගගතො භානු ලොකෙකනාථො

-

20. සබ්බාව මංගලමුපද්දව දුන්නිමිත්තං

සබ්බීති රොග ගහදෝසමසෙස නින්දා

සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං

බුද්ධානුභාවෙන පවරේන පයාතු නාසං

-

21. සබ්බාව මංගලමුපද්දව දුන්නිමිත්තං

සබ්බීති රොග ගහදෝසමසෙස නින්දා

සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං

ධම්මානුභාවෙන පවරේන පයාතු නාසං

-

22. සබ්බාව මංගලමුපද්දව දුන්නිමිත්තං

සබ්බීති රොග ගහදෝසමසෙස නින්දා

සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං

සංඝානුභාවෙන පවරේන පයාතු නාසං

මෙම ජිනපඤ්ජරය ආරක්ෂාව සඳහා බොහෝ විට භාවිතා කරන ආනුභාව සම්පන්න පිරිතකි. මෙය තමන් ගැන කියා ගන්නා කල පොතේ සඳහන් පරිදි ද අනුන් ගැන කියන විට වරහන් යෙදූ තැන් වෙනස් කොට ද භාවිත කරනු. “මය්හං” යන තැන් “තුය්හං” කියා ද “මම” යන තැන් “ත්ව” කියා ද “මෙ” යන තැන් “තෙ” කියා ද “චරාමි” යන තැන් “චරාසි” කියා ද “පරික්ඛිතොස්මි” යන තැන “පරික්ඛිතොසි” කියා ද වෙනස් කර ගත යුතුය.

රන්දෙණේ ගාථා

තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ රන්දෙන හා සඳුන් දර සෑය විවෘත කිරීම සඳහාත්, නැවත වැසිම සඳහාත්, සෑයට ගිනි ගැන්වීම සඳහාත් මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් වදාළ මහානුභාව සම්පන්න ගාථා ඇත. ඒවායින් දොරවල් ඇරීම ආදී නොයෙක් හාස්කම් කළ හැකි යයි සිතා ඒ ගාථා බොහෝ දෙනා සොයති. එබඳු ගාථා කොටසක් ඇති බව අපේ බණ පොත්වල නම් සඳහන් වී නොමැත. රහතන් වහන්සේලා ප්‍රාතිහාර්ය කරන්නේ ගාථාවල මන්ත්‍රවල බලයකින් නොව උන්වහන්සේලාගේ ධ්‍යාන බලයෙනි. මහකසුප් තෙරුන් වහන්සේ රන්දෙන විවෘත කළේ ද ධ්‍යාන බලයෙනි. ඒ බව මහාපරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි මෙසේ දැක්වේ.

ථෙරො කිර චිතකං පදක්ඛිණං කත්වා ආවජ්ජෙන්තො ‘ව සල්ලඛෙසි. ඉමස්මිං ඨානෙ භගවතො පාදානීති. තතො පාදානං සමීපෙ ඨත්වා අභිඤ්ඤාපාදකං චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය අරහස්ස පතිමණ්ඩිත චක්කලක්ඛණ පතිට්ඨිතා දස බලස්ස පාදා සද්ධිං කප්පාය පටලෙහි පඤ්චදුස්ස සතානි සුවණ්ණවණ්ණදොණිං චන්දන චිතකංච ද්වෙධා කත්වා මය්හං උත්තමංගෙ සිරස්මිං පතිට්ඨහන්තුති අට්ඨාසි. සහ අධිට්ඨාන චිත්තෙන තානි දුස්සයුගානි ද්වෙධා කත්වා වලාහකන්තරා පුණ්ණචන්දො විය පාදා නික්ඛමිංසු.

තේරුම:

“තෙරුන්වහන්සේගේ චිතකය ප්‍රදක්ෂිණා කොට මෙනෙහි කරන්නාහු තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාදයෝ මෙහි යි සිතා ගත්හ. ඉක්බිති පා සමීපයෙහි සිට අභිඤ්ඤාපාදක චතූර්ථධ්‍යානයට සමවැදී ඉන් නැගිට අර දහසකින් හෙබි චක්‍රලක්ෂණ පිහිටා ඇති දස බලයන් වහන්සේගේ පාදයෝ පුළුන් පටල සහිත පන්සියයක් වස්ත්‍ර හා රන්වන් දෙණ ද සඳුන් දර සෑය ද දෙබෑ වී මාගේ උත්තමාංගය වූ සිරසෙහි පිහිටත්වා යි අධිෂ්ඨාන කළහ. අධිෂ්ඨාන චිත්තය සමග ම ඒ වස්ත්‍රාදිය දෙබෑ වී වළාකුළු අතරින් නික්මෙන පුන්සඳ මෙන් පාදයෝ නික්මුණහ” යනුයි.

“දෙවතානුභාවෙන පනෙස සමන්තො එකප්පහාරෙනෙව පජ්ජලි” යනුවෙන් දේවානුභාවයෙන් චිතකයේ සෑම අතින්ම එකවර ගිනිගත්තේ යයි අටුවාවෙහි කියා තිබේ. රන්දෙණේ ගාථා නමින් දැනට ගාථා කීප වර්ගයක් දක්නට තිබේ. ඒවා කෙසේ ඇති වී දැයි නො දනිමු. ඒවායින් නොයෙක් ගුරුකම් කරති. ඒවායින් කරන නොයෙක් ගුරුකම් මන්ත්‍රකාරයන් වෙත ඇති පොත්වල දක්නා ලැබේ. ඉන් එක් ගාථා පෙළක් මෙසේය.

අලීනගා විජ්ජුවරං පහස්සරං

විමුත්තක්ඛණෙ දොණි යුගං පදං වරං

ථෙරස්ස සීසෙ ගතෙ පතිට්ඨිතං

අනුත්තරො ගෙය්‍ය සතම්පිවණ්ණනා

-

කරෙය්‍ය මානස්ස ගුණෙහි බුද්ධං

අනුට්ඨිතො ගබ්භගතාය පාදං

උට්ඨෙපි යො කස්සප ථෙරපාදං

ඔසානයෙ පඤ්චසතෙහි භික්ඛු

-

ඛණෙන අග්ගිං ජලමානනාය

සබ්බම්පි චෙ චන්දනදාරුඛීයෙ,

ශරීරඛීයෙ සුගතස්ස ධාතුයො

මුත්තං සුවණ්ණං සුමනංව දිස්සති

මේ අප දුටු පිටපතක තිබූ සැටිය. ගාථා වශයෙන් නම් මේවායේ කිසිම වැදගත් කමක් නැත. මේවා භාෂාව නොදත් අය අතින් අතට ලිවීමේ දී වූ වැරදි නිසා මෙසේ තේරුමක් නොදිය හැකි තත්ත්වයට පැමිණ ඇතැයි සිතමු.

තවත් රන්දෙණේ ගාථා තුනක්

නමෝ තෙ කරුණාභාර නමො තෙ මතිසාගර

නමො තෙ අමතාකර නමො තෙ අමතණ්ණව

-

රංසිමාල නමො තුය්හං නරම්බුරුහමණ්ඩල

ජලමාල නමො තුය්හං භාවරඤ්ඤදවානල,

-

ඉධානන්තගුණාධාර සද්ධම්මරතනාකර,

පාදෙ වන්දාමි තෙ නාථ සද්ධාය තව මුද්ධනා

තවත් රන්දෙණේ ගාථා සතක්

1. සබ්බසංඛත ධම්මේසු ඔත්තප්පාකාරසණ්ඨිතා

ඤාණමොහිතභාරානං ධම්මසංවේගසණ්ඨිතා

-

2. සස්සිරීකතරො නාථො කෙතුමාලාය ලංකතො

දක්ඛිණාවත්තකෙසොසි නීලාමලසිරොරුහෙ

-

3. උණ්හීසසීසො රුචිරො පරිපුණ්ණසිරො වරො

අනොලොකියමුද්ධාසි සුගන්ධතරමුද්ධනො

-

4. උණ්හීසරුචිරොදාර ලලාටතට සොභිතො

මුදුතුලනිභොදාත උණ්ණාමණ්ඩලමණ්ඩිතො

-

5. ඉන්දචාපනිභො නීල භූතටාකසුසජ්ජිතො

කඤ්චනං කුසසංකාස තුංගනාසො විරොචති

-

6. ලොචනද්වයමාහාති පඤ්චවණ්ණසමුජ්ජලං

දෙහං දෙවවිමානම්හි මණිජාලුපමුත්තමං

-

7. රංසිමාල නමො තුය්හං බුංසෙනාදිපඤ්ජර

එවං තං බුද්ධ ජානාථ බුද්ධං දසවිලොචනං

අටවිසි බුදු පූජාව

අටවිසි බුදුපූජා පැවැත්වීමේදී පළමු කොට මේ ගාථා කියා පිළිවෙලින් අටවිසි බුදුවරයන් වහන්සේලාට නමස්කාර කළ යුතුය.

1. තණ්හංකර බුදුරදුන් වැඳීම

තණ්හංකරව්හයං බුද්ධං - අරහන්තං සුනිම්මලං

වන්දනීයං පූජනීයං - නමාමි සිරසාදරං

2. මේධංකර බුද්ධ වන්දනාව

මේධංකරව්හයං සම්මා - සම්බුද්ධං දීපදුත්තමං

පාරගුං ඤෙය්‍යධම්මෙසු - නමාමි සිරසාදරං

3. සරණංකර බුද්ධ වන්දනාව

සරණංකරව්හයං බුද්ධං - සරණං සබ්බපාණිනං

විජ්ජාචරණ සම්පන්නං - නමාමි සිරසාදරං

4. දීපංකර බුද්ධ වන්දනාව

දීපංකරව්හයං බුද්ධං - සුගතං අමතඤ්ජසෙ

අමෝඝවචනං සෙට්ඨං - නමාමි සිරසාදරං

5. කොණ්ඩඤ්ඤ බුද්ධ වන්දනාව

කොණ්ඩඤ්ඤව්හයං සම්බුද්ධං - සබ්බලොකවිදුං ජිනං

සරණං සබ්බලොකස්ස - නමාමි සිරසාදරං

6. මංගල බුද්ධ වන්දනාව

මංගලව්හයං සම්බුද්ධං - ලෝකජෙට්ඨං අනුත්තරං

පුරිසධම්මසාරථිං - නමාමි සිරසාදරං

7. සුමන බුද්ධ වන්දනාව

සුමනව්හයං සම්බුද්ධං - මහාමතිං මහාදයං

දේවමනුස්සත්ථාරං - නමාමි සිරසාදරං

8. රේවත බුද්ධ වන්දනාව

රේවතව්හයං සම්බුද්ධං - චතුසච්චං සුගම්භිරං

බුජ්ඣිත්වාන බෝධයන්තං - නමාමි සිරසාදරං

9. සෝභිත බුද්ධ වන්දනාව

සෝභිතව්හයං සම්බුද්ධං - රංසිමාලාච සෝභිතං

භගවන්තං මහාතේජං - නමාමි සිරසාදරං

10. අනෝමදස්සි බුද්ධ වන්දනාව

අනෝමදස්සිං සම්බුද්ධං - ලෝකජෙට්ඨං නරුත්තමං

අනෝමඤ්ඤං විමලං - නමාමි සිරසාදරං

11. පදුම බුද්ධ වන්දනාව

පදුමව්හයං සම්බුද්ධං - සන්තිදං පදුමානනං

මහාදයං මහාපඤ්ඤං - නමාමි සිරසාදරං

12. නාරද බුද්ධ වන්දනාව

නාරදව්හය සම්බුද්ධං - සාදරං සාරදස්සිනං

සබ්බසංයෝජනච්ඡින්නං - නමාමි සිරසාදරං

13. පදුමුත්තර බුද්ධ වන්දනාව

පදුමුත්තර සම්බුද්ධං - සබ්බසත්තානුකම්පකං

දුරාසදං උග්ගතෙජං - නමාමි සිරසාදරං

14. සුමේධ බුද්ධ වන්දනාව

සුමේධව්යහ සම්බුද්ධං - සබ්බලෝක හිතක්කරං

පඤ්චමාරජිතං සෙට්ඨං - නමාමි සිරසාදරං

15. සුජාත බුද්ධ වන්දනාව

සුජාතව්හය සම්බුද්ධං - මහාකාරුණිකං වරං

පාරගුං සබ්බඤෙය්‍යෙසු - නමාමි සිරසාදරං

16. පියදස්සී බුද්ධ වන්දනාව

පියදස්සී නාම ජිනං - සාධුනං පියදසනං

තිලෝකමහිතං සෙට්ඨං - නමාමි සිරසාදරං

17. අත්ථදස්සී බුද්ධ වන්දනාව

අත්ථදස්සී නාම බුද්ධං - ලොකස්ස අත්ථසාධකං

අනන්ත කරුණා ඤාණං - නමාමි සිරසාදරං

18. ධම්මදස්සී බුද්ධ වන්දනාව

ධම්මදස්සී නාමජිනං - ධම්මරාජං අනුත්තරං

ධම්මචක්කං පවත්තෙන්තං - නමාමි සිරසාදරං

19. සිද්ධත්ත බුද්ධ වන්දනාව

සිද්ධත්ථව්හය සම්බුද්ධං - සබ්බත්ථ සිද්ධිකාරකං

සිද්ධමිද්ධගුණං සෙට්ඨං - නමාමි සිරසාදරං

20. තිස්ස බුද්ධ වන්දනාව

තිස්සව්හයං ලොකනාථං - අසමප්පටිපුග්ගලං

දුරාසදං වීතරාගං - නමාමි සිරසාදරං

21. ඵුස්ස බුද්ධ වන්දනාව

ඵුස්ස නාමං දේව දේවං - දේව මානුස පූජිතං

පඤ්චනෙත්තං දස බලං - නමාමි සිරසාදරං

22. විපස්සී බුද්ධ වන්දනාව

විපස්සිව්හය සම්බුද්ධං - සතතං ඤාණචක්ඛුනා

විපස්සිතං ඉමං ලෝකං - නමාමි සිරසාදරං

23. සිඛී බුද්ධ වන්දනාව

සිඛීව්හයං ලොකනාථං - අසමප්පටිපුග්ගලං

මහාදයං මහාපඤ්ඤං - නමාමි සිරසාදරං

24. වෙස්සභූ බුද්ධ වන්දනාව

වෙස්සභූ නාම සම්බුද්ධං - ජිතමාරං මහාසයං

මහාවීරං දස බලං - නමාමි සිරසාදරං

25. කකුසන්ධ බුද්ධ වන්දනාව

කකුසන්ධව්හයං බුද්ධං - සංසාරොඝා මහබ්භයා

බහුජ්ජනෙ තාරයන්තං - නමාමි සිරසාදරං

26. කෝණාගමන බුද්ධ වන්දනාව

කෝණාගමන සම්බුද්ධං -ඤෙය්‍යධම්මෙසු කෝණගං

ජිතමාරං මහාවීරං - නමාමි සිරසාදරං

27. කස්සප බුද්ධ වන්දනාව

කස්සපව්හය සම්බුද්ධං - ධම්මරාජං මහබ්බලං

දේවින්ද පූජිතං සෙට්ඨං - නමාමි සිරසාදරං

28. ගෝතම බුද්ධ වන්දනාව

ගෝතමව්හය සම්බුද්ධං - චතුසච්ච රසුත්තමං

පායිතං නර දේවානං - නමාමි සිරසාදරං

මේ ගාථා කියා අටවිසි බුදුවරයන් වහන්සේලාට වැඳ මතු දැක්වෙන ගාථා කියා මල් පහන් ආදිය පූජා කරනු.

පහන් පූජාව

පජ්ජලන්තෙ ඉමේ දීපෙ - අන්ධාර විනෝදනේ

අට්ඨවීසති බුද්ධානං - නත්වා පූජේමි සාදරං

අඳුර දුරු කරන්නා වූ මේ පහන් අටවිසි බුදුවරයන් වහන්සේලාට නමස්කාර කොට පූජා කරමි. පූජා වේවා.

මල් පූජාව

වණ්ණ ගණ්ධ ගුණෝපේතං - ඒතේ පුප්ඵෙ මනෝරමේ

අට්ඨවීසති බුද්ධානං - නත්වා පූජෙමි සාදරං

මනා වර්ණයෙන් හා සුවඳින් යුක්ත වන මනරම් වූ මේ මල් අටවිසි බුදුවරයන් වහන්සේලාට නමස්කාර කොට පූජා කරමි. පූජා වේවා.

සුවඳ දුම් පූජාව

චන්දනාදීහි සුකතං - ධූපමේතං මනෝරමං

අට්ඨවීසති බුද්ධානං - නත්වා පූජේමි සාදරං

සඳුන් ආදියෙන් මොනවට කරන ලද මේ මනරම් සුවඳ දුම් අටවිසි බුදුවරයන් වහන්සේලාට පූජා කරමි. පූජා වේවා.

පැන් පූජා කිරීම

නිම්මලං සීතලං ඒතං - මධුරං දක්ඛිණෝදකං

අට්ඨවීසති බුද්ධානං - නත්වා පූජේමි සාදරං

නිර්මල වූ සිසිල් වූ මිහිරි වූ මේ දක්ඛිණෝදකය අටවිසි බුදුවරයන් වහන්සේලාට වැඳ පූජා කරමි. පූජා වේවා.

ගිලන්පස පූජාව

මධුරං ආමයහරං - ගිලානපච්චයං ඉමං

අට්ඨවීසති බුද්ධානං - නත්වා පූජේමි සාදරං

රෝග දුරු කරන්නා වූ මේ මිහිරි වූ ගිලන්පස අටවිසි බුදුවරයන් වහන්සේලාට වැඳ පූජා කරමි. පූජා වේවා.

දැහැත් පූජාව

නාගවල්ලි දලං එතං - චුණ්ණපූගාදී සංයුතං

අට්ඨවීසති බුද්ධානං - නත්වා පූජේමි සාදරං

සුණු පුවක් ආදියෙන් යුක්ත වූ මේ දැහැත් අටවිසි බුදුවරයන් වහන්සේලාට වැඳ පූජා කරමි. පූජා වේවා.

අටවිසි බුදුවරයන් වැඳීමේ කෙටි ක්‍රමයක්

1. තණ්හංකරෝ මෙධංකරො - අථොපි සරණංකරෝ

දීපංකරෝ ච සම්බුද්ධෝ - කොණ්ඩඤ්ඤෝ දීපදුත්තමෝ

-

2. මංගලෝ ච සුමනෝ ච - රේවතෝ සෝභිතො මුනි

අනෝමදස්සී පදුමෝ - නාරදෝ පදුමුත්තරෝ

-

3. සුමේධෝ ච සුජාතෝ ච - පියදස්සී මහායසො

අත්ථදස්සී ධම්මදස්සී - සිද්ධත්ථෝ ලෝකනායකෝ

-

4. තිස්සෝ ඵුස්සෝ ච සම්බුද්ධෝ - විපස්සී සිඛී වෙස්සභූ

කකුසන්ධෝ කෝණාගමනෝ - කස්සපො ගොතමො මුනී

-

5. අට්ඨවීසති තේ බුද්ධා - සබ්බසත්ත හිතේ රතා

තෙසාහං සිරසා පාදේ - අභිවන්දාමි සාදරං

අසූ මහා ශ්‍රාවක පූජාව

අසූ මහා ශ්‍රාවක පූජාව කිරීමේ දී මේ ගාථාව කියා වැඳ පූජාව පවත්වනු.

1. කොණ්ඩඤ්ඤෝ භද්දියෝ වප්පෝ - මහානාමෝච අස්සජි

උපතිස්සෝ කෝලිතෝ පුණ්ණෝ - අනුරුද්ධෝච කස්සපෝ

-

2. භද්දියෝ කිම්බිලෝ පුණ්ණෝ - නන්දෝ ආනන්ද රාහුලෝ

උපසේනෝ නාළකෝ දබ්බෝ - සෝණෝ සීවලී සෝභිතෝ

-

3. සුනාපරන්තකෝ පුණ්ණෝ - රේවතෝ පුන රේවතෝ

කුමාරකස්සපෝ රාධෝ - වංගීසෝ සෝභිතෝ භගු

-

4. සෙලුදායි ච භද්දාලි - භද්දියෝච ලකුණ්ඨකෝ

තෝදෙය්‍යකප්පෝ දුභයෝ - ඡතුකණ්ණිච පෝසලෝ

-

5. පුණ්ණකෝ ඛෙමකෝ නන්දෝ - උපසීවෝච හේමකෝ

මෝඝරාජා ජිතෝ තිස්සෝ - මෙත්තගු පිංගියෝ ඉසි

-

6. මේඝියෝ කොට්ඨිතෝ ඡන්නෝ - උපවානෝච භද්දජි

කප්පින්නකෝ මහාකප්පි - රට්ඨපාලෝච වක්කලි

-

7. සාගතෝ ලක්ඛණෝචාපි - භාරද්වාජෝ ගවම්පතී

යසෝ පුණ්ණජි කච්චානෝ - පන්ථකෝ චූලපන්ථකෝ

-

8. පිළින්දවච්ඡෝ කුණ්ඩධානෝ භක්කුලෝ නදී කස්සපෝ

භද්‍රාවුධෝ අංගුලිමාලෝ - කස්සපෝ ගයකස්සපෝ

-

9. අසේල කස්සපෝ ධීරෝ - සක්‍යපුත්තෝ විසාරදෝ,

උරුවේල කස්සපෝ ථෙරෝ - සුභූති සහියෝ පිච.

-

10. එතේසීති මහාථෙරා - මහන්තා ජිනසාවකා,

තෙසාහං සිරසා පාදේ - අභිවන්දාමි සාදරං

අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාට මල් පහන් ආදිය පිදීමේදී අටවිසි බුදුවරයන් වහන්සේලාට පූජා පැවැත්වීමේදී කියන ගාථා ද මඳක් වෙනස් කොට භාවිත කළ හැකිය. අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාට පහන් පිදීමේදා ගාථාව මෙසේ වෙනස් කර කියනු.

පජ්ජලන්තේ ඉමේ දීපේ

අන්ධකාර විනෝදනේ,

අසීති මහා ථෙරානං

නත්වා පූජෙමි සාදරං

අන් ගාථා ද සුදුසු පරිදි එසේ වෙනස් කර කියනු.

අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාට ආහාර පූජාව

නානා සූපව්‍යඤ්ජනේහි - මධුරේහි එලේහිච

ඛජ්ජාදීහිච සංයුත්තං - ඒතං පණීතභොජනං

අසීතිමහාථේරානං - නත්වා පූජේමි සාදරං

පිරිකර පූජාව

පරික්ඛාරානි ඒතානි - පටියත්තානි සාධුකං

අසීතිමහාථෙරානං - නත්වා පූජේමි සාදරං

අග්‍රශ්‍රාවක වන්දනා

බොහෝ විහාරවල බුදු පිළිමය දෙපස සැරියුත් මුගලන් යන අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා ගේ ප්‍රතිමා ද තනා ඇත. එබඳු තැන්වලදී අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට ද වැඳුම් පිදුම් කිරීම සුදුසුය.

සැරියුත් මහ තෙරුන් වහන්සේට වැඳීම

යෝ පබ්පජි ජාතිසතානි පඤ්ච

පහාය කාමානි මනෝරමානි

තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං

පරිනිබ්බුතං වන්දේ සාරිපුත්තං

-

ඛන්තිබලෝ පඨවිසමෝ නකුප්පති

නචාපි චිත්තස්ස වසේන වත්තති.

අනුකම්පකෝ කාරුණිකෝ ච නිබ්බුතෝ

පරිනිබ්බුතං වන්දේ සාරිපුත්තං

-

චණ්ඩාලපුත්තෝ යථා නගරං පවිට්ඨෝ

නීචමනෝ චරති කපාලහත්ථෝ,

තථා අයං විචරති සාරිපුත්තෝ

පරිනිබ්බුතං වන්දේ සාරිපුත්තං

මුගලන් මහ තෙරුන් වහන්සේට වැඳීම

යෝ පබ්පජි ජාතිසතානි පඤ්ච

පහාය කාමානි මනෝරමානි

තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං

පරිනිබ්බුතං වන්දේ මොග්ගල්ලානං

-

ඛන්තිබලෝ පඨවිසමෝ නකුප්පති

නචාපි චිත්තස්ස වසේන වත්තති

අනුකම්පකෝ කාරුණිකෝච නිබ්බුතෝ

පරිනිබ්බුතං වන්දේ මොග්ගල්ලානං

-

චණ්ඩාලපුත්තෝ යථා නගරං පවිට්ඨෝ

නීචමනෝ චරති කපාලහත්ථෝ

තථා අයං විචරති සාරිපුත්තෝ

පරිනිබ්බුතං වන්දේ මොග්ගල්ලානං

බෝධි පූජාව

චතුරසංඛ්‍ය කල්ප ලක්ෂය, අෂ්ටාසංඛ්‍ය කල්ප ලක්ෂය, ෂෝඩශාසංඛ්‍ය කල්ප ලක්ෂය වූ අති දීර්ඝ කාලයන්හි පෙරුම් දහම් පිරූ සියලුම මහා බෝධිසත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබව ලබන්නේ බෝධිමූලයකදී ම ය. එයින් පෙනෙන්නේ පාරමිතා සම්පූර්ණ කර ඇතත් ලොවුතුරා බුදු වීමට බෝධියක සහය උවමනා බවය. මඳ පාරමිතාවක් ඇති පසේ බුදුවරයෝ කොතැනත් බුදු වෙති. උන් වහන්සේලාට බෝධියක් උවමනා නැත. මහා පාරමිතා කුශලස්කන්ධයක් ඇති මහා බෝධි සත්වයනට බෝධියක් නැතිව බුදු විය නො හැකි වීමටත් පසේ බුදුවරයන්ට බුදු විය හැකි වීමටත් හේතුවක් තිබිය යුතුය. එය විමසිය යුතු කරුණෙකි.

පසේ බුදුවරයන්ට බාධා කිරීමට මාරයෝ නො පැමිනෙති. ලොවුතුරා බුදුවරයන්ට බාධා කිරීමට ලොවුතුරා බුදු වීම වැළැක්වීමට මාරයෝ පැමිණෙති. ලොවුතුරා බුදුවන බෝධිසත්තවයන් විසින් මාරයන් පැරදවිය යුතුය. මාරයන් පැරදවීමට බෝධියෙන් ලැබෙන යම් කිසි බලයක් තිබිය යුතුය. ඒ උපකාරය ලැබීම සඳහා මහා බෝධිසත්ත්වයන් බුදු වීම සඳහා බෝධියක් සොයා ගන්නවා විය හැකිය. මහා බෝධිසත්ත්වයන්ට මරුන් පැරදවීමට උපකාර වන මේ බෝධිය, සෙස්සන්ට ද සුව නොවන රෝග සුව කර ගැනීම, දරුවන් ලැබීම, රැකියා ලැබීම, රැකියා සඵල වීම, අන්තරායයන්ගෙන් මිදීම යනාදියට උපකාර ලැබිය හැකි වස්තුවක් ලෙස සලකති. එබැවින් දෛවඥයෝ ශාස්ත්‍රකාරයෝ බොහෝ දෙනාට නොයෙක් කරණුවලට බෝධි පූජාව නියම කරති. බෝධි පූජාවෙන් ප්‍රයෝජන වූ බව ද බොහෝ දෙනා කියති.

නියං කාල වලදී වැසි ලැබීම සඳහා දේව පූජාදිය කරනු දක්නා ලැබේ. දෙවියන් පිදීමට වඩා වැසි ලැබීමට බෝධි පූජෝත්සව පැවැත්වීම හොඳ බව පැවසිය යුතුය. පදුමුත්තර බුදුරදුන්ගේ බෝධියට පූජෝත්සවයක් පැවැත්වීමේදී මහා වැස්සක් ඇති වූ බවත් එදා එයට සහභාගී වූ පුද්ගලයෙක් ඒ මහා වැස්සේදී අකුණු සැරයක් වැදී මරණයට පත්ව බෝධියට පැන් ඉසීමේ පිනෙන් දෙව්ලොව උපන් බවත් අපදාන පාළියෙහි දක්වා ඇත. එය ඇත්තේ “ගන්ධොදකියථෙරාපදාන” යන නාමයෙනි. බෝධි පූජෝත්සවය පැවැත්වීමේදී මහා වැසි ඇතිවෙනවා අප විසින් ද කීප වාරයක් දැක ඇත්තේය. වර්ෂාව ලැබීම සඳහා බෝධි පූජෝත්සවයක් පවත්වනවා නම් බොහෝ ජනයා එකතුව එය විශාල අන්දමින් කළ යුතුය. බෝමළුව හැමද මලසුන් සෝදා පවිත්‍ර කර සුදු වැලි ඉස කොඩි හා මල් මාලා එල්වා සුවඳ පැනින් බෝධිය නහවා මල් පහන් සුවඳ දුම් ආදිය පුදමින් මේ උත්සවය පැවැත්විය යුතුය. එක් දිනක් පූජෝත්සවය පැවැත්වීමෙන් වැසි නො ලද හොත් තෙදිනක් හෝ සතියක්ම හෝ පූජාව පැවැත්විය යුතුය.

පූජාව වරදවා කිරීම

රෝග සුව කර ගැනීම ආදිය පිණිස බෝධි පූජා පවත්වන ඇතැම්හු බෝධියට පූජා කරමි යි මල් පහන් ආදිය බෝධිය සමීපයේ තබා බුදුනට මල් පුදන “වණ්ණගන්ධගුණෝපේතං” යනාදී ගාථාව ද “ඝනසාරප්ප දිත්තේන” යනාදී ගාථාව ද කියති. එසේම බුදුනට සුවඳ දුම් පැන් පූජා කරන ගාථා කියති. එසේ කරන අයගේ ඒ පූජාව බුද්ධ පූජාව බෝධි පූජාව යන දෙකටම නැතියක් වේ. එසේ වරදවා කරන පූජා වලින් රෝග සන්සිඳීම් ආදිය සිදුවෙතැ යි නො සිතිය හැකිය. බෝධීන් වහන්සේට මල පහන් සුවඳ දුම් පිදීමේදී කියයුතු ගාථා මෙහි 28 වන පිටුවෙහි දක්වා ඇත. ඒවා භාවිත කරනු. බෝධි පූජාවක් කිරීමේදී බුදුරජාණන් වහන්සේට සෙවන දුන්නා වූ ද මරුන් පැරද වීමට සහය වූ ද බුදුරදුන් විසින් නේත්‍ර පූජාවක් කරන ලද්දා වූ ද මිනිසුන් විසින් හා දේව බ්‍රහ්මයන් විසින් නන් අයුරින් පුදන ලද්දා වූ ද පරම පූජනීය මහානුභාව සම්පන්න වස්තුවක් වන දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහි කර එයට වඳිමි ය පුදමි ය යන අදහස පෙරදැරි කරගෙන බෝධියට වැඳුම් පිදුම් කළ යුතුය.

බුදු පිළිමය හා බෝධිය

බොහෝ බෝධීන් වහන්සේලා සමීපයේ බුදු පිළිම තබා ඇත. එයින් ඇත්තේ බෝධි පූජාවට බාධාවකි. බෝධි පූජාවක් කිරීමේදී පූජා ද්‍රව්‍යයන් බුදුපිළිම ඉදිරියේ නො තබා බෝධිය සමීපයෙහි තබා පූජා කිරීම හොඳය. පූජා ද්‍රව්‍යයන් බුදුපිළිම ඉදිරියේ තබා බෝධි පූජාව කිරීමේදී අවුලක් ඇති වේ.

රෝග සුව කර ගැනීම ග්‍රහ අපල දුරු කර ගැනීම ආදී විශේෂ කරුණක් උදෙසා බෝධි පූජාවක් පවත්වනවා නම් බෝ මලුව හැමද පිරිසිදු කළ යුතුය. මලසුන් සෝදා පිරිසිදු කළ යුතුය. ඒ වැඩ ආතුරයා සියතින් ම කරනවා නම් වඩා ගුණ ලැබෙන බව කිය යුතුය. බෝ මලුවෙහි සුදු වැලි හා ලද පස් මල් ඉස කොඩි එල්වා මල් දම් එල්ලා බෝධිය සරසා පූජාව කිරීම වඩාත් හොඳය. පවිත්‍ර කිරීමෙන් පසු පූජාද්‍රව්‍ය මලසුන්වල තබා ආතුරයා ම ගාථා කියා පූජාව පැවැත්වීමට සමත් නම් ඔහු විසින් ම තමාගේ අභිමතාර්ථය සලකා පූජාව පැවැත්විය යුතුය. ආතුරයා එය කරගැනීමට අසමත් නම් දන්නා අන් කෙනෙකු ලවා ගාථා කියවා ගත යුතුය. පූජාව කරවන තැනැත්තා විසින් ආතුරයා ලවා පසඟ පිහිටුවා බෝධියට වන්දවා එසේ සිටියදී ම ආතුරයාට පන්සිල් සමාදන් කරවා මතු දැක්වෙන වන්දනා ගාථා කියවා වන්දනා කරවිය යුතුය.

බෝධි වන්දනා ගාථා

1. යස්සමූලේ මහාසත්තො - ජිත්වා මාරං මහබ්බලං

පත්තො සබ්බඤ්ඤු සෙට්ඨං - වන්දෙ තං බෝධිමුත්තමං

-

2. යස්සමූලේ නිසීදිත්වා - සත්තාහං ලෝකනායකො

විමුත්තිසුඛ සංවේදී - වන්දේ තං බෝධිමුත්තමං

-

3. යස්ස පූජේසි සම්බුද්ධෝ - සත්තාහං සකලෝචනේ

පූජිතං නරදේවේහි - වන්දේ තං බෝධිමුත්තමං

-

4. ආයුං ආරෝගතං වණ්ණං - යසං කිත්තිං ධනං බලං

වඩ්ඪෙන්තං පූජයන්තානං - වන්දේතං බෝධිමුත්තමං

-

5. දුක්ඛං රෝගං භයං වෙරං - සෝකං ජානිං උපද්දවං

හරන්තං පූජයන්තානං - වන්දේ තං බෝධිමුත්තමං

-

6. පුඤ්ඤකාමීහි විඤ්ඤූහි - නරදේවේහි සාදරං

වන්දිතං පූජිතං සෙට්ඨං - වන්දේ තං බෝධිමුත්තමං

-

7. සබ්බ කාමදදෝ බෝධි - සබ්බදුක්ඛ විනාසකෝ

වන්දතෝ දේතු මේ සන්ති - බෝධිරාජා නමත්ථු තෙ

මේ ගාථා කියා බෝධි වන්දනාව නිතර කිරීමෙන් බොහෝ ගුණ ලැබෙනු ඇත.

ඉක්බිති මෙහි 28 වැනි පිටුවෙහි සඳහන් බෝධීන් වහන්සේට මල් පහන් ආදිය පුදන ගාථා කියා මල් පහන් ආදිය පිදිය යුතුය. වැඳුම් පිදුම් අවසානයේදී මතු දැක්වෙන ගාථා කියා ආතුරයාට සෙත් වැඩිය යුතුය.

බෝධි පූජා ශාන්තිය

1. මහාදයෝ මහා සත්තෝ - බෝධිමූලේ නිසීදිය

පඤ්චමාරේ පරාජෙත්වා - පත්තෝ සම්බෝධිමුත්තමං

ඒතේන සච්ච වජ්ජේන -සොත්ති තේ හෝතු සබ්බදා

-

2. ජයෝහි බුද්ධස්ස සිරීමතෝ අයං

මාරස්ස ච පාපිමතෝ පරාජයෝ

උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමොදිතා

ජයං තදා නාග ගණා මහේසිනෝ

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

3. ජයෝහි බුද්ධස්ස සිරීමතෝ අයං

මාරස්ස ච පාපිමතෝ පරාජයෝ

උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමොදිතා

සුපණ්ණසංඝාපි ජයං මහේසිනෝ

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

4. ජයෝහි බුද්ධස්ස සිරීමතෝ අයං

මාරස්ස ච පාපිමතෝ පරාජයෝ

උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමොදිතා

ජයං තදා දේව ගණා මහේසිනෝ

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

-

5. ජයෝහි බුද්ධස්ස සිරීමතෝ අයං

මාරස්ස ච පාපිමතෝ පරාජයෝ

උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමොදිතා

ජයං තදා බ්‍රහ්මගණාපි මහේසිනෝ

ඒතේන සච්චේන සුවත්ථි හෝතු

මේ ගාථා රෝගයක් සුව කිරීම සඳහා කීමේ දී ගාථාවල අන්තිම පෙළ “ඒතේන සච්චවජ්ජේන රෝගෝ තෙ වූප සම්මතු” යි කීම වඩා හොඳ බව සැලකිය යුතුය.

අවසානයේ දී බෝධීන්ට අරක් ගෙන සිටි දෙවියන් ඇතුළු සියළු දෙවියන්ට පින් අනුමෝදන් කරවිය යුතුය.

ධාරණ පිරිත

මෙය බුරුම අකුරෙන් මුද්‍රිත පොතකින් පිටපත් කරගන්නා ලදී. මේ පිරිත භාවිතයෙන් ආරක්ෂාව සැලසෙන බවත් රෝග සුව වන බවත් නිරෝගීව දිගු කලක් ජීවත් විය හැකි බවත් නොයෙක් දෝෂ දුරුවන බවත් දියුණු වන බවත් කියා තිබේ.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

  1. බුද්ධානං ජීවිතස්ස න සක්කා කේනචි අන්තරායො කාතුං තථා මේ හෝතු.
  2. අතීතංසේ බුද්ධස්ස භගවතෝ අප්පටිහතං ඤාණං, අනාගතංසේ බුද්ධස්ස භගවතෝ අප්පටිහතං ඤාණං, පච්චුප්පන්නංසේ බුද්ධස්ස භගවතෝ අප්පටිහතං ඤාණං,
  3. ඉමේහි තීහි ධම්මෙහි සමන්නාගතස්ස බුද්ධස්ස භගවතෝ සබ්බං කාය කම්මං ඤාණ පුබ්බංගමං, ඤාණානුපරිවත්තං. සබ්බං වචී කම්මං ඤාණ පුබ්බංගමං, ඤාණානුපරිවත්තං. සබ්බං මනෝ කම්මං ඤාණ පුබ්බංගමං, ඤාණානුපරිවත්තං.
  4. ඉමේහි ඡහි ධම්මෙහි සමන්නාගතස්ස බුද්ධස්ස භගවතෝ නත්ථි ඡන්දස්ස හානි, නත්ථි ධම්ම දේසනාය හානි, නත්ථි වීරියස්ස හානි, නත්ථි විපස්සනාය හානි, නත්ථි සමාධිස්ස හානි, නත්ථි විමුත්තියා හානි.
  5. ඉමෙහි ද්වාදසහි ධම්මෙහි සමන්නාගතස්ස බුද්ධස්ස භගවතෝ නත්ථි දවා, නත්ථි රවා, නත්ථි අප්ඵුටං, නත්ථි වේගායිත්තං, නත්ථි බ්‍යාවටමනෝ, නත්ථි අප්පටිසංකාරුපෙක්ඛා, ඉමෙහි අට්ඨාරසහි ධම්මේහි සමන්නාගතස්ස බුද්ධස්ස භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානං.
  6. නත්ථි තථාගතස්ස කායදුච්චරිතං, නත්ථි තථාගතස්ස වචීදුච්චරිතං, නත්ථි තථාගතස්ස මනෝ දුච්චරිතං, නත්ථි අතීතංසේ බුද්ධස්ස භගවතෝ පටිහතං ඤාණං, නත්ථි අනාගතංසේ බුද්ධස්ස භගවතෝ පටිහතං ඤාණං, නත්ථි පච්චුප්පන්නංසේ බුද්ධස්ස භගවතෝ පටිහතං ඤාණං, සබ්බං කාය කම්මං ඤාණ පුබ්බංගමං ඤාණානුපරිවත්තං, සබ්බං වචී කම්මං ඤාණ පුබ්බංගමං ඤාණානුපරිවත්තං, සබ්බං මනෝ කම්මං ඤාණ පුබ්බංගමං ඤාණානුපරිවත්තං, ඉමං ධාරණ අමිතං අසමං සබ්බ සත්තානං තාණං ලේණං සංසාර භය භීතානං අග්ගං මහාතේජං.
  7. ඉමං ආනන්ද ධාරණ පරිත්තං ධාරෙහි චාරෙහි පරිපුච්ඡාහි තස්ස කායේ විසං න කමෙය්‍ය, උදකෙ න ලග්ගෙය්‍ය, අග්ගි න ඩහෙය්‍ය, නානාභය විනාසකෙ. න එකාහිකො න ද්විහිකො න තීහිකො න චතුහිකො න උම්මත්තකං න මූළ්හකං මනුස්සෙහි අමනුස්සෙහි න හිංසකෝ.
  8. තං ධාරාණපරිත්තං යථා කථමෙ ජාලෝ මහා ජාලෝ ජාලිතේ මහා ජාලිතේ පුග්ගේ මහා පුග්ගේ සම්පත්තේ මහා සම්පත්තේ භූතංගම්හි තමංගලං ඉමං ඛෝ පනානන්ද ධාරණපරිත්තං සත්තසතේහි ධම්මා සම්බුද්ධ කෝටිහි හාසිතං වත්තේ අවත්තේ ගන්ධවේ අගන්ධවේ නෝමේ අනෝමේ සේවේ අසේවේ කායේ අකායේ ධාරණේ අධාරණේ ඉල්ලි මිල්ලි තිල්ලි මිල්ලි යෝරුක්ඛෙ මහා යෝරුක්ඛෙ භූතංගම්හි තමංගලං
  9. ඉමං ඛො පනානන්ද ධාරණ පරිත්තං නව නවුතියා සම්මා සම්බුද්ධ කොටීහි භාසිතං දිට්ටිලා දණ්ඩිලා මන්තිලා රෝගිලා ඛරලා දුබ්භිලා එතේන සච්ච වජ්ජේන සොත්ථි මේ හෝතු සබ්බදා.

පුණ්‍යෝපදේශය නිමි.