පටිච්ච සමුප්පාද විවරණය
නිර්වාණ විස්තරයකින් යුක්තයි.
(දාහතර වන මුද්‍රණය)
මහාචාර්ය
රේරුකානේ චන්දවිමල
(සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිත, ප්‍රවචන විශාරද,
අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී)
මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින්
සම්පාදිතයි.
2551
2008
ලේකම්ගේ සටහන්....
භව සන්තතිය පිළිබඳ විචාර සමාජයේ බොහෝ දෙනා තුළ පැතිර පවතී. බුදු සසුනේ විවිධ නිකායයන් ද මේ ගැන සාකච්ඡා කර ඇති අතර එවැනි අදහස් කියවා ඇති ථෙරවාදී භික්‍ෂූන් වහන්සේ ද ‘අන්තරා භවය’ පිළිබඳ මතිමතාන්තර දේශනා කළහ.
භවයේ මුල, මැද, අග සොයන සමහරු ද මේ ගැන තර්ක කරති. එවැනි තර්ක නොසිතිය යුතු කරුණු සේ බැහැර කළ බුදුන් වහන්සේ දුකින් මිදීමේ, සසරෙන් ඉවත්වීමේ මග හා ඊට වෙර වැඩිය යුතු බව ම අවධාරණය කරති.
පටිච්ච සමුප්පාදය ගැන එවැනි මිථ්‍යා මත ඔස්සේ මනස අවුල් කරගත් ඇතැම් විදර්ශනාලාභීන් හා යෝගාවචරයන් යයි තමන් හඳුන්වා ගන්නා පුද්ගලයින් මේ පොත ගැන විවිධ අදහස් අපට ලියා එවූහ. එහෙත් නාහිමියන්ගේ පොත නැවත මුද්‍රණය කිරීම පමණක් අපේ කාර්යයයි. නාහිමියන් ධර්‍මය තේරුම් කළේ ත්‍රිපිටකය හා අටුවා ටීකා පදනම් කරගෙන පමණක් මිස නිකායාන්තරික අදහස් හෝ මනස්ගාත ගැන පදනම් කර නොගෙන බව අපි දන්නෙමු.
කම්-ඵල අදහන සැදැහැවත් බොදුනුවන්ගේ සත්පුරුෂ සමාගමය නිසා ම රේරුකානේ නාහිමිපාණන් ගේ බුදුදහම පිළිබඳ නිවැරදි හා සරල දහම් පොත් සමූහය තවදුරටත් අවම මිලක් යටතේ ඔබ අත පත් කරන්නට ශ්‍රී චන්‍දවිමල ධර්‍ම පුස්තක සංරක්‍ෂණ මණ්ඩලය සමත් වෙයි. ඒ අවබෝධයෙන් හා පුනරුප්පත්තිය පිළිබඳ විශ්වාසයෙන්, මෙලොව සැපසම්පතින් කොටසක් සසරට නිදන් කරනා පින්වතුන්ට අපගේ කෘතවේදීත්‍වය පළ කරමු.
සෝදුපත් සැසඳීමේදී සහාය වූ දයාවතී අබේසිංහ මහත්මිය, සංශෝධිත පරිඝණක වර්‍ණ සටහන් යෙදූ හොරණ රූ-මායා ග්‍රැෆික්ස් හි සාලිය ජයකොඩි මහතා, මුද්‍රණයෙන් දායක වූ ගිහාන් අනුරංග ජයවර්‍ධන මහතා ඇතුළු කාර්‍ය්‍යමණ්ඩලය, මණ්ඩලයේ කටයුතු සඳහා නිබඳ අවධානය යොමු කරන පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද හිමිපාණන් සහ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා නිසා ම මේ පොත් පැවැත්වීමේ වගකීම ලිහිල් වී ඇති බව සිහි කරන්නේ සතුටිනි.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්‍ෂණ මණ්ඩලය
2008 ජනවාරි 25 වන දින,
පොකුණුවිටදී ය.
ලොවුතුරා බුදුබවට පැමිණෙන්නා වූ සකල මහා බෝධිසත්ත්වයන් ම ආනාපාන චතුර්ථධ්‍යානයට සමවැදී, නුවණ දියුණු - තියුණු කොට ගෙන, එසේ තියුණු කරගත් නුවණ ප්‍රතීත්‍යසමුත්පාදධර්‍මයට යොමු කොට එය අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් සම්මර්ශනය කොට සංසාර චක්‍රයේ සැටි නිවැරදි ලෙස තේරුම් ගෙන, අර්හන්මාර්ගඥානය උපදවා සංසාර ප්‍රවෘත්තියට හේතු වන අවිද්‍යා - තෘෂ්ණා ප්‍රධාන එක්දහස් පන්සියයක් කෙලෙස් සතුරන්, මතු කිසි කලෙක නැඟී නො එන පරිදි සම්පූර්ණයෙන් නසා ලොවුතුරා බුදුබවට පැමිණෙන බව “සබ්බ බෝධිසත්තාහි ආනාපානචතුත්ථජ්ඣානතො වුට්ඨාය පච්චයාකාරෙ ඤාණං ඕතාරෙත්වා තං අනුලෝම-පටිලෝමං සම්මසිත්වා බුද්ධා හොන්ති” යනුවෙන් සංයුත්තනිකායට්ඨකථාවෙහි දක්වා තිබේ. මේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය ලොවුතුරා බුදුබවට පැමිණි පසු ද උන්වහන්සේලා නිතර සිහිකිරීම් වශයෙන් භාවිත කෙරෙති.
අප බුදුරජාණන් වහන්සේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය සම්මර්‍ශනය කොට පැමිණ වදාළ අරහත්ඵල සමාපත්තියට සමවැදී බෝමුල ඒ අස්නෙහි ම සතියක් වැඩ සිට ඒ සමාපත්තියෙන් නැගී, ප්‍රථමයෙන් කරන්නට යෙදුනේ ද ප්‍රතීත්‍යසමුත්පාදය සිහිකිරීම ම ය. උන්වහන්සේ බුදු වීමෙන් සත්වනදා රාත්‍රියේ ප්‍රථමයාමය අනුලෝම වශයෙන් ප්‍රතීත්‍යසමුත්පාදය සම්මර්‍ශනය කිරීමෙනුත් මධ්‍යමයාමය ප්‍රතිලෝම වශයෙන් ප්‍රතීත්‍යසමුත්පාදය සම්මර්‍ශනය කිරීමෙනුත් පශ්චිමයාමය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රතීත්‍යසමුත්පාදය සම්මර්‍ශනය කිරීමෙනුත් ගතකළ බව උදාන පාළියේ දක්වා තිබේ. මෙසේ ලොවුතුරා බුදුබවට පැමිණීමට උපකාර වන්නාවූත් ලොවුතුරා බුදුවරයන් වහන්සේලා නො හැර භාවිත කරන්නාවූත් ධර්‍මයක් වන බැවින් මේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය බුදුසස්නෙහි උසස් ධර්මයක් බව කිය යුතු ය. ඉතා උසස් ධර්මයක් වූ මේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය ඉතා ගැඹුරු ය. එය මහා බෝධිසත්ත්වයන් හා ප්‍රත්‍යෙක බෝධිසත්ත්වයන් හැර, අන්කිසිවකු ස්වශක්තියෙන් නිරවුල් කර තේරුම්කර ගැනීමට සමත් නො වන බව “ඨපෙත්වා පන ද්වේ බෝධිසත්තෙ අඤ්ඤේ සත්තා අත්තනො ධම්මතාය පච්චයාකාරං උජුං කාතුං සමත්ථා නාම නත්ථි” යනුවෙන් මහානිදාන සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ.
ප්‍රතීත්‍යසමුත්පාද සංඛ්‍යාත මේ හේතුඵල ධර්මය සොයාගැනීමේ දුෂ්කරත්වය නිසා ම බුදුසසුනේ පිහිටෙන් තොරව ස්වශක්තියෙන් ම ලෝ තතු සෙවූවෝ නොයෙක් අයුරින් නො මඟ ගියහ. ඇතමෙක් “ලෝකයත් සත්ත්වයාත් දෙවියකු විසින් මවන ලද්දේය. මේ සත්ත්වයෝ ඒ මැවුම්කාර දෙවියාගේ කැමැත්ත පරිදි සැපදුක් ලබන්නාහ. මැවුම්කාර දෙවියාගේ කැමැත්ත පරිදි ම සත්ත්වයෝ මරණින් මතු සුගතියට හෝ දුගතියට යන්නාහ” යි ගත්හ. ඇතමෙක් “මැවුම්කරුවකු නැතිව පඨවී - ආපෝ - තේජෝ - වායෝ යන ධාතූන්ගෙන් සත්ත්වයා ඇතිවූයේය” යි ගත්හ. ඇතමෙක් “ආත්මයත් ශරීරයත් එකයයි” ගත්හ. ඇතමෙක් “ආත්මය අනිකෙක, ශරීරය අනිකකැ”යි ගත්හ.
ආත්මයත් ශරීරයත් එකයයි ගත්තෝ “ශරීරය විනාශ වීමෙන් ආත්මයත් විනාශ වන්නේය, එබැවින් මරණින් මතු සත්ත්වයා නූපදින්නේය යි ද, පින් පව්වලින් සත්ත්වයාට වන දෙයක් නැත්තෙය” යි ද කියති. ශරීරය අනිකෙක ආත්මය අනිකෙකැයි ගත්තෝ “ශරීරය සේ ආත්මය නැසෙන දෙයක් නො වේ. ආත්මය කවදාවත් නො මැරෙන්නේය. ඒ ආත්මය ශරීරය බිඳෙන කල්හි කූඩුවකින් පක්‍ෂියකු බැහැර යන්නාක් මෙන් පුරාණ ශරීරයෙන් බැහැරව අලුත් ශරීරයකට යන්නේ ය” යි කියති.
ඇතමෙක් “පෙර කළ පින් පව් අනුවම සත්ත්වයෝ සැප දුක් ලබති” යි ගත්හ. ඇතමෙක් “කර්මවිපාකය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කෙරෙති.” ඇතමෙක් “පින්පව් කළ තැනැත්තාම එහි විපාකය විඳීය” යි ගත්හ. ඇතමෙක් “අනිකකු කළ කර්මයේ ඵලය අනිකෙක් විඳීය”යි ගත්හ. ඇතමෙක් “මේ සත්ත්වයා අතීතයේත් වීය”යි ගත්හ. ඇතමෙක් “මේ සත්ත්වයා අතීතයෙහි නො වූයේ ය, අලුතෙන් ඇති වූවෙකැයි” යි ගත්හ.
තථාගතයන් වහන්සේගේ ප්‍රතීත්‍යසමුත්පාද දේශනය වනාහි මෙහි කී නොකී එකම දෘෂ්ටියකටවත් නො වැටෙන හේතුඵල ක්‍රමයක් දැක්වෙන දේශනයෙකි. ඒ හේතුඵල ධර්මය සොයාගන්නට නුපුළුවන්වීම නිසා මෙසේ සත්ත්වයන් නොයෙක් දෘෂ්ටිගත අවුලෙන් අවුලට පත්ව, නැවත නැවත අපායට පැමිණෙන්නට සිදුවන මේ සංසාරය ඉක්මවිය නොහැකිව දුකෙහිම ගැලී ඉන්නා බව “එතස්ස ආනන්ද! ධම්මස්ස අනනුබොධා අප්පටිවෙධා එවමයං පජා තන්තාකුලකජාතා ගුළාගුණ්ඨිකජාතා මුඤ්ජබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තන්ති” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් මහානිදාන සූත්‍රයෙහි වදාරා තිබේ.
මේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය දැන ඉගෙන දෘෂ්ටි ජාලයෙන් මිදී සත්‍යය අවබෝධ කරගන්නා තුරු සත්ත්වයා දුකින් නො මිදේ. එබැවින් දුකින් මිදීම බලාපොරොත්තුවන සැමදෙනා විසින් ම බුදු සස්නෙහි ඉතා උසස් තැනක් ගන්නා මේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය ගැන තරමක් දුරටවත් දැනගැනීමක් ඇතිකර ගැනීමට උත්සාහ කළ යුතු ය. මේ උසස් ධර්මය දත හැක්කේ ද බුද්ධෝත්පාද කාලයෙහිම ය. බුද්ධශූන්‍ය කාලවලදී මේ ධර්මය ඇති බවවත් දැන ගැනීමට ක්‍රමයක් නැත. දැනට පැමිණ ඇත්තේ මේ උසස් ධර්මය දැන ගැනීමට, ඉගෙන ගැනීමට ඉඩ ඇති යහපත් කාලයකි.
එහෙත් දැනට ඇති බෞද්ධයන්ගෙන් ඉතා වැඩි දෙනෙක් ම මේ උසස් ධර්මය ගැන කිසිවක් දන්නෝ නො වෙති. එබැවින් ඔවුහු තමන් ලබා සිටින මේ උත්තම බුද්ධෝත්පාදක්ෂණයෙන් ගන්නට ඇති උසස් ප්‍රයෝජනය නො ලබති. බෞද්ධයම්හ යි ප්‍රතිඥාකර ගෙන ඉන්නා අයගෙන් ඇතමෙක් මේ ධර්මය නො දන්නා නිසාම “මරණින් මතු ඉපදීමක් නැත. පින් පව්වල විපාකයක් නැත” යනාදීන් මිථ්‍යාදෘෂ්ටියට බැස සිටිති. ඒ තත්ත්වයට පැමිණ සිටින පැවිද්දෝ ද නැත්තාහු නො වෙති. ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය නො දැනීම නිසා නොමඟට වැටී ඉන්නා ජනයාගේ යහපත සඳහා අප විසින් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.
පාලි පොත්වලින් පටිච්චසමුප්පාදය පිළිබඳ විස්තරයක් ඇත්තේ සම්මෝහවිනෝදනී නම් වූ විභංග අටුවාවෙහි හා විශුද්ධිමාර්‍ගයෙහිත් ය. ඒ පොත් දෙක්හි වෙනසක් නැත. ඒ පොත්වල එන පටිච්චසමුප්පාද විස්තරය ඉතා වැදගත්ය. ඒවායේ පටිච්චසමුත්පාදය විස්තර කර තිබෙන්නේ ක්‍රමානුකූලව ධර්‍මය ඉගෙන ගන්නා වූ ද, ඉගෙන ගත්තා වූ ද තැනැත්තන්ට සුදුසු වන පරිදිය. මෙකල පවත්නා අධ්‍යාපනයේ හැටියට පාළි පොත් හත අටකින් කොටස් පමණක් උගෙනීම ලැබූවන්ටත්, ධර්මය පිළිබඳ උගෙනීමක් නො ලැබූ සාමාන්‍ය ජනයාටත්, ඉහත කී පොත් දෙකේ එන ප්‍රතීත්‍යසමුත්පාද වර්‍ණනාවෙන් ප්‍රයෝජනයක් නොලැබිය හැකිය. රසයක් නො ලැබිය හැකිය. අප විසින් මේ පටිච්චසමුප්පාද විවරණය සම්පාදනය කරන ලද්දේ ධර්මය පිළිබඳ ක්‍රමානුකූල ඉගෙනුමක් ලබා නැති සාමාන්‍ය ජනතාව දෙස බලා ගෙනය. එබැවින් අටුවාවල එන ප්‍රතීත්‍යසමුත්පාද වර්‍ණනා ක්‍රමය අනුගමනය නො කොට, අපට වැටහෙන පරිද්දෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.
සිංහලෙන් පටිච්චසමුප්පාදය විස්තර කර ඇති පොත් කීපයක් අපට කියවන්නට ලැබිණ. ඒ පොත් අප සිත් නො ගත් බැවින් පටිච්චසමුප්පාද විවරණය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමට අදහස් කෙළෙමු. අතිශයින් ගැඹුරු වූ මේ ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය, කියවන්නවුන්ට තේරුම් ගත හැකි වන පරිදි විස්තර කර ග්‍රන්ථයක් සම්පාදනය කිරීම පහසු වැඩක් නොවේ. අඩුපාඩුවක් වරදක් ඉතිරි නො වන පරිදි මේ ගැඹුරු ධර්මය විස්තර කිරීමට සමත් බවට අපට නැත. අප විසින් මෙය කරන ලද්දේ “මහජනයාට තේරුම් ගත හැකි වන පරිද්දෙන් සැපයූ පටිච්චසමුප්පාද වර්‍ණනාවක් කොහෙත්ම නැතුවාට වඩා මේ පොතවත් තිබීම හොඳය” යන අදහසිනි.
අනුලෝම - ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාද දේශනා දෙකින් වඩාත් ගැඹුරු ධර්‍මය වන්නේ ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාද දේශනය ය. එයින් දැක්වෙන්නේ නිවනය පෘථග්ජනයන්ට අවිෂය වූ ඒ නිවන අපගේ අදහසේ හැටියට විස්තර කරනවාට වඩා නිවන පිළිබඳව තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්ම දැක්වීම් වශයෙන් නිර්‍වාණය විස්තර කිරීම වඩා හොඳ ක්‍රමය වන බැවින් තථාගතයන් වහන්සේ විසින් නිර්‍වාණය සම්බන්ධයෙන් වදාළ සූත්‍ර කීපයක් මෙහි විස්තර කර ඇත. ඒවා කියවීමෙන් නිර්‍වාණ තත්ත්වයත් බොහෝ දුරට තේරුම් ගත හැකි වනු ඇත.
මේ ග්‍රන්ථයෙහි අනුලෝම ප්‍රතීත්‍යසමුත්පාදය විස්තර කරන පූර්‍වභාගය අප විසින් ලියන ලදුයේ ලක්දිව අභිධර්මය උගත් කාන්තාවක් වන කොළඹ හැව්ලොක් ටවුන්හි ලෙයාර්ඩ් මාවතෙහි අංක 18 දරණ මන්දිරයෙහි වෙසෙන සෝමාවතී මුණසිංහ මැතිනියගේ ආරාධනාවෙන් බුද්ධවර්‍ෂයෙන් 2492 වැන්නෙහිදීය. ඒ කොටස ඇගේ වියදමින් ඒ කාලයේදී මුද්‍රණය කරවා ධර්මදාන වශයෙන් බෙදා දෙන ලදී. දෙදහස් පන්සිය වැනි වසට කලින් මේ පෝත සම්පූර්‍ණකොට මුද්‍රණය කරවන බලාපොරොත්තුවෙන් සිටි මුත් පැමිණියා වූ යම් යම් අපහසුකම් නිසා බලාපොරොත්තු කාලයේදී මෙය කරන්නට නොලැබිණ. නොයෙක් අපහසුකම් මධ්‍යයේ අප ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ බුද්ධ ජයන්ති වර්ෂය තුළදීම මේ ග්‍රන්ථයත් මහජනයා අතට පැමිණ විය හැකි විය.
මේ සම්බුද්ධ ජයන්ති ධර්‍ම පුස්තක පංතියේ අටවන දහම් පොතය. මෙයින් මේ දහම්පොත් පෙළ අවසන් කරනු ලැබේ. කිසි ඝෝෂාවක් නොකොට, කිසිවකුගෙන් ආධාරයක් නො ගෙන, අමාරුවෙන් ආරම්භ කරන ලද මේ ධර්මපුස්තක ප්‍රචාරය අප බලාපොරොත්තු වූවාට වඩා බොහෝ සාර්ථක වූ බව ප්‍රීතියෙන් සඳහන් කරමු. අපගේ මේ ධර්මපුස්තක ප්‍රචාරය සාර්ථක වූවාක් මෙන් හැම දෙනා ගේ සියලුම යහපත් වැඩ සාර්ථක වේවායි පතමු. මේ ධර්මපුස්තක ව්‍යාපාරය කරදරයක් නැතිව පවත්වාගත හැකිවූයේ ධර්මකාමීන් විසින් මේ පොත් කලට වේලාවට මිලයට ගත් නිසාය. අපේ දහම් පොත් ගත් ගිහි පැවිදි සැමදෙනාම මේ ධර්මපුස්තක ව්‍යාපාරයේ ආධාරකාරයෝ ය. හැම දෙනාට ම පින්සිදු වේවා!
(මේ ග්‍රන්ථය මුද්‍රණයේදී සෝදුපත් බැලීම් ආදි වැඩ සියල්ල අපගේ ශිෂ්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම නම කිරිඔරුවේ ධම්මානන්ද නම සමග කරන ලද බව ද ස්තුති පූර්වකව සඳහන් කරමු.)
ධර්මය ලොවෙහි බැබලේවා
මීට ශාසනස්ථිතිකාමී රේරුකානේ චන්‍දවිමල මහනායක ස්ථවිර
ශ්‍රී බු.ව. 2500 (1957) මාර්තු 01 වන දින, ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට.
නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චතුරසඞ්ඛ්යකල්ප ලක්‍ෂසඞ්ඛ්‍යාතාතිදීර්ඝ කාලය මුළුල්ලෙහි පිරූ සමතිස් පෙරුම් දහම් බෙලෙන් ශ්‍රී මහා බෝධිදෘම මූලයේ දී, ශීල නමැති පෘථිවියෙහි වීර්‍ය්‍ය නමැති පාදයුග්මයෙන් සිට, සමාධි නමැති ශීලාතලයෙහි මුවහත් කරන ලද කර්මක්ෂයකරඥාන නමැති පොරොව ශ්‍රද්ධා නමැති අතින් ගෙන අතීතාදි කාලත්‍රයක් හා අවිද්‍යාදි ද්වාදශාඞ්ගයක් හා, විංශත්‍යාකාරයක් හා සන්ධිත්‍රයක් හා සතර රාශියක් හා ත්‍රිවෘත්තයක් හා මූලද්වයක් ද ඇත්තා වූ ප්‍රතීත්‍යසමුත්පාද සඞ්ඛ්‍යාත අනාදිකාලප්‍රවෘත්ත සංසාරචක්‍රය සිඳ සර්‍වඥ පද ප්‍රාප්ත වූ, මාගේ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ ශ්‍රී පාදයුග්මය අතිශය භක්තියෙන් හා ගෞරවයෙන් වැඳ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත පරම ගම්භීර ප්‍රතීත්‍යසමුත්පාද ධර්‍මය සසර දුකින් මිදී නිවන් සුවය ලබනු රිසි ධර්‍ම කාමී සත්පුරුෂ ජනයාට නිවන් මඟ දක්වනු පිණිස මාගේ නැණ පමණින් හෙළ බසින් වර්ණනා කරනු ලැබේ. ආදරයෙන් මෙය කියවා ගම්භීර ධර්මය තේරුම් ගෙන නිවන් පසක් කිරීමට උත්සාහ කෙරෙත්වා!!
“අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරාමරණං සෝක පරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.”
මේ විභංග ප්‍රකරණයේ පටිච්චසමුප්පාද විභංගයේ එන අනේක ප්‍රකාර ප්‍රතීත්‍ය සමුත්පාද දේශනයන් අතුරෙන් පළමු වන ප්‍රතීත්‍ය සමුත්පාද දේශනය ය. මේ ගම්භීර ධර්මය දැන ගනු කැමතියන් විසින් පළමු කොට මේ පාඨය පාඩම් කරගෙන ඉදිරියට පොත කියවිය යුතු ය. එහි තේරුම මෙසේ ය:-
අවිද්‍යා නමැති හේතුව නිසා සංස්කාරයෝ හටගනිති.
සංස්කාරයන් නිසා විඥානය හට ගනී,
විඥානය නිසා නාමරූපය හටගනී,
නාමරූපය නිසා ෂඩායතනය හටගනී,
ෂඩායතනය නිසා ස්පර්ශය හටගනී,
ස්පර්ශය නිසා වේදනාව හටගනී,
වේදනාව නිසා තෘෂ්ණාව හටගනී,
තෘෂ්ණාව නිසා උපාදානය හටගනී,
උපාදානය නිසා භවය හටගනී,
භවය නිසා ජාතිය වේ,
ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුඃඛ, දෞර්මනස්ස්ය, උපායාසයෝ වෙති.
මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ පහළ වීම වේ.
ගින්න නිසා දුම ඇති වන්නාක් මෙන් ද ගත නිසා ගෙඩිය ඇති වන්නාක් මෙන් ද තමා නිසා පෙර නො තුබූ අන් දෙයක් ඇතිවීමට හේතු වන්නා වූ දෙයට හෙවත් ධර්මයට “පටිච්චසමුප්පාදය” යි කියනු ලැබේ.
අවිද්‍යාව ඇති කල්හි ඒ අවිද්‍යාව නිසා පුණ්‍යාභිසංස්කාරාදි ත්‍රිවිධ සංස්කාරයෝ හටගනිති. එබැවින් සංස්කාරයන්ට හේතු වූ අවිද්‍යාව පටිච්චසමුප්පාදයකි. අවිද්‍යාව නිසා හටගන්නා වූ සංස්කාරයන් නිසා ද විඥානය ඇති වේ. එබැවින් සංස්කාරයෝ ද පටිච්ච සමුප්පාදයකි. සංස්කාර හේතුවෙන් හටගත් විඥානය නිසා නාමරූප හටගනී. එබැවින් විඥානය ද පටිච්චසමුප්පාදයකි. විඥානය නිසා හටගත් නාමරූපය නිසා ෂඩායතනය පහළ වේ. එබැවින් ෂඩායතනයට හේතු වූ නාම රූපය ද පටිච්චසමුප්පාදයකි. මෙසේ ස්පර්ශය ඇති වීමට හේතු වන බැවින් ෂඩායතනය ද පටිච්චසමුප්පාදයකි. වේදනාව ඇති වීමට හේතු වන බැවින් ස්පර්ශය ද පටිච්චසමුප්පාදයකි. තෘෂ්ණාව ඇති වීමට හේතු වන බැවින් වේදනාව ද පටිච්චසමුප්පාදයකි. උපාදානය ඇති වීමට හේතු වන බැවින් තෘෂ්ණාව ද පටිච්චසමුප්පාදයකි. භවය ඇති වීමට හේතු වන බැවින් උපාදානය ද පටිච්චසමුප්පාදයකි. ජාතිය ඇති වීමට හේතු වන බැවින් භවය ද පටිච්චසමුප්පාදයකි. ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍යෝපායාසයන් ඇති වීමට හේතු වන බැවින් ජාතිය ද පටිච්චසමුප්පාදයකි. ජරාමරණාදිය ද අවිද්‍යා තෘෂ්ණාවන්ට හේතු වන බැවින් පටිච්චසමුප්පාදයකි.
මෙසේ අවිද්‍යාවේ පටන් ජරා මරණය දක්වා ඇති මේ ධර්ම සියල්ල ම එකිනෙකට හේතු වන බැවින් පටිච්චසමුප්පාද නම් වේ. ඒ පටිච්චසමුප්පාදය ප්‍රකාශ කරන්නා වූ “අවිජ්ජා පච්චයා සංඛාරා” යනාදි පාඨයට ද ඒ නම කියනු ලැබේ.
එක් ගලක් මත එය හා බැඳී සිටින සේ අනෙක් ගලක් ද, ඒ ගල මත එය හා බැඳී සිටින සේ අනෙක් ගලක් ද, එය මත අනෙක් ගලක් ද මෙසේ උස් වී සිටින සේ එකින් එක මත තබන ලද ගල් සමූහයට වෙන් වෙන් වූ ගල් ගැන අපේක්‍ෂාවක් නො කොට කථා කරන කල්හි කුලුන ය යි ද කණුව ය යි ද කියනු ලැබේ. එහෙත් එකක් උඩ එකක් පිහිටා තිබෙන ගල් සමූහය හැර එහි කුලුනය කියා අමුතු දෙයක් නැත. සත්‍ය වශයෙන් එහි ඇත්තේ ගල් සමූහය පමණකි. එ මෙන් එකක් නිසා එය හා බැඳී පවත්නා සේ තවත් ධර්මයක් ඇති වීම් වශයෙන් නො සිඳී පැවතී ගෙන යන්නා වූ අවිද්‍යාදි ධර්ම පරම්පරාවන්ට, ධර්ම සමූහයන්ට වෙන් වෙන් වූ ධර්ම ගැන අපේක්‍ෂාවක් නැති ව කථා කරන කල්හි ස්ත්‍රිය ය, පුරුෂයා ය, දෙවියා ය යනාදි නම් කියනු ලැබේ. එහෙත් ධර්ම සමූහය - ධර්ම පරම්පරා මිස සත්‍ය වශයෙන් ඇති ස්ත්‍රියක් පුරුෂයෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත.
කුලුනය යි කී කල්හි සත්‍ය වශයෙන් කුලුනක් නො ලැබී එක පිට එක පිහිටි ගල් සමූහයක් ලැබෙන්නාක් මෙන් ස්ත්‍රිය ය කියා හෝ පුරුෂයා ය කියා හෝ මිනිසා ය දෙවියා ය සත්ත්වයා ය කියා හෝ කී කල්හි සත්‍ය වශයෙන් එක් එක් ධර්මයක් නිසා ඇති වන්නා වූ ධර්ම සමූහයක් ම ලැබේ. ස්ත්‍රී පුරුෂාදීහු නො ලැබෙත්. පටිච්චසමුප්පාදය යි කියනුයේ එක එකක් නිසා පවත්නා වූ ඒ ධර්ම සමූහයට ය. එබැවින් පටිච්චසමුප්පාදය අපෙන් ඈත අන් තැනක - අන් ලොවක ඇතියක් නොවේ. අප ම බව හෙවත් සත්ත්වයන් පුද්ගලයන් සැටියට ව්‍යවහාර කරන දෙය ම බව දත යුතු ය. පටිච්චසමුප්පාදය අප ම වුව ද එය සත්ත්ව පුද්ගල කථාවෙන් අපට වැසී තිබේ. වැසී තිබෙන බැවින් තේරුම් ගැනීමට - දැන ගැනීමට දුෂ්කර ගැඹුරු ධර්මයක් වී තිබේ.
පටිච්චසමුප්පාදය මහා දුක්ඛස්කන්ධයකි. දුඃඛ චක්‍රයකි. එයට හසු වී සිටින්නා වූ සත්ත්වයෝ ජාති - ජරා - ව්‍යාධි - මරණාදි දුඃඛයන්ට හා ආපායික දුඃඛයන්ට ද නැවත නැවත හසු වෙමින් සෙක්කුවේ බඳින ලදු ව එය වටේ කැරකෙන ගවයන් මෙන් භවත්‍රයෙහි කැරකෙති. රෝගයක් ඇති කෙනකුට ඒ රෝගය හොඳින් හැඳින ගන්නා තුරු එයට සෑහෙන ප්‍රතිකාරයක් කරගෙන එයින් මිදිය නො හෙන්නාක් මෙන් ප්‍රතීත්‍යසමුත්පාද සංඛ්‍යාත දුඃඛ චක්‍රය හෙවත් සංසාර චක්‍රය හොඳින් හැඳින ගන්නා තුරු අවිද්‍යා තෘෂ්ණා සංඛ්‍යාත සංසාර චක්‍රයේ මූලධර්මයන් ප්‍රහාණය කොට එය සිඳ එයින් මිදී නිවනට නො පැමිණිය හැකිය. එ බැවින් තථාගතයන් වහන්සේ විසින් ආනන්ද ස්ථවිරයන් වහන්සේට -
“ඒතස්ස ආනන්ද, ධම්මස්ස අඤ්ඤාණා අනනුබෝධා අප්පටිවේධා ඒවමයං පජා තන්තාකුලකජාතා ගුළාගුණ්ඨිකජාතා මුඤ්ජබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තන්ති.” යි වදාරන ලදී.
“ආනන්දය, මේ ප්‍රතීත්‍යසමුප්පාද ධර්මය නො දැනීම නිසා, අවබෝධ නො කිරීම නිසා, ප්‍රතිවේධ නො කිරීම නිසා මේ සත්ත්වයෝ (මීයන් කැපූ) නූල් පන්දුවක් සේ අවුල් වූවාහු රෙදි වියන්නන්ගේ නූල් පන්දුවක් මෙන් අවුල් වූවාහු මුඤ්ජබබ්බජ නම් වූ තණවලින් ඇඹරූ දිරා කැඩී ගිය කඹයක තණකෙඳි මෙන් අවුල් වූවාහු සැපයෙන් පහ වූ දුක්ඛයා ගේ පැවැත්ම ඇත්තා වූ අපාය හා සංසාරය නො ඉක්මවත්” යනු එහි තේරුම ය.
තව ද පටිච්චසමුප්පාදය නො දත් තැනැත්තා නියම ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු නො වන බව ද ප්‍රත්‍යක්ෂාත්මභාවයේ ම ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්නකු නො වන බව ද තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“යේහි කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා ජරාමරනං නප්පජානන්ති, ජරාමරණ සමුදයං නප්පජානන්ති, ජරාමරණ නිරෝධං නප්පජානන්ති. ජරාමරණ නිරෝධගාමිනිං පටිපදං නප්පජානන්ති. -පෙ- න මේතේ භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා සමණේසු වා සමණ සම්මතා, බ්‍රාහ්මණේසු වා බ්‍රාහ්මණ සම්මතා, න ච පන තේ ආයස්මන්තෝ සාමඤ්ඤත්ථං වා බ්‍රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සන්ති.”
“මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ජරාමරණය නො දනිත් ද, ජරාමරණ හේතුව නො දනිත් ද, ජරාමරණ නිරෝධය නො දනිත් ද, ජරාමරණ නිරෝධයට පැමිණෙන්නා වූ ප්‍රතිපත්තිය නො දනිත් ද -පෙ- මහණෙනි, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණය යි සම්මත වූවෝ ද නො වෙති. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණය යි සම්මත වූවෝ හෝ නො වෙති. ඒ ආයුෂ්මත්හු ලෝකෝත්තර මාර්ගය වර්තමාන ජාතියේ දී තමන් ම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නෝ නො වන්නාහු ය” යනු එහි තේරුම යි.
සම්‍යක් සම්බෝධිය ය, ප්‍රත්‍යෙක සම්බෝධිය ය, ශ්‍රාවක බෝධිය ය යන තුන්තරා බෝධියෙන් එකකට පැමිණ සියලු කෙලෙසුන් නසා සංසාර චක්‍ර‍්‍රය සිඳ නිවනට පැමිණීම පටිච්චසමුප්පාදය දැන ගැනීමේ ආනිසංසය ය. පටිච්චසමුප්පාදය දැන ගැනීමේ අනුසස් දක්වනු පිණිස තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“යතෝ ඛෝ භික්ඛවේ! අරියසාවකෝ ඒවං පච්චයං පජානාති, පච්චයසමුදයං පජානාති, පච්චය නිරෝධං පජානාති, පච්චයනිරෝධගාමනිං පටිපදං පජානාති, අයං වුච්චති භික්ඛවේ! අරියසාවකෝ දිට්ඨිසම්පන්නෝ ඉතිපි, දස්සනසම්පන්නෝ ඉතිපි, ආගතෝ ඉමං සද්ධම්මං ඉතිපි, සේඛේන ඤාණේන සමන්නාගතෝ ඉතිපි, සේඛාය විජ්ජාය සමන්නාගතෝ ඉතිපි, ධම්මසෝතං සමාපන්නෝ ඉතිපි, අරියෝ නිබ්බේධික පඤ්ඤෝ ඉතිපි, අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති.”
“මහණෙනි, යම් හෙයකින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ අවිද්‍යාදි ප්‍රත්‍යය දනී ද, ප්‍රත්‍යයන් ගේ උත්පත්ති හේතුව දනී ද, ප්‍රත්‍යයන් ගේ නිරෝධය දනී ද, ප්‍රත්‍යය නිරෝධයට පැමිණෙන ප්‍රතිපත්තිය දනීද මහණෙනි, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මේ කාරණයෙන් මාර්ගඥාන සංඛ්‍යාත දෘෂ්ටියෙන් යුක්ත වූයේ ය යි ද, මේ කාරණයෙන් මාර්ගඥාන සංඛ්‍යාත දර්ශනයෙන් යුක්ත වූයේ ය යි ද, මේ කාරණයෙන් ලෝකෝත්තර මාර්ග සංඛ්‍යාත සද්ධර්මයට ආයේ ය යි ද, මේ කාරණයෙන් ශෛක්‍ෂ වූ ඥානයෙන් යුක්ත වූයේ ය යි ද, මේ කාරණයෙන් ශෛක්‍ෂ වූ විද්‍යාවෙන් යුක්ත වූයේ ය යි ද, මේ කාරණයෙන් මාර්ග සංඛ්‍යාත ධර්ම ශ්‍රෝතසට පැමිණියේ ය යි ද, මේ කාරණයෙන් ආර්‍ය්‍ය වූ, තෘෂ්ණාව දුරු කරන ප්‍රඥාව ඇත්තේ ය යි ද, මේ කාරණයෙන් නිවන් දොරට පැමිණ සිටී ය යි ද කියනු ලැබේය” යනු එහි තේරුමයි.
සියලු ම මහා බෝධිසත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදු බවට පැමිණියේ ද ආනාපාන චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිට ඥානය පටිච්චසමුප්පාදයට යවා පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වටහා ගෙන විදර්ශනා කිරීමෙනි. මහාබෝධිසත්ත්වයන් වහන්සේලාගේ චාරිත්‍ර ධර්මය වූ පරිදි අප මහ බෝසතාණන් වහන්සේ ද ශ්‍රී මහා බෝධිමූලයේ වැඩ සිට, ආනාපානස්මෘති භාවනාවේ යෙදී ධ්‍යාන උපදවා චතුර්ථ ධ්‍යානයෙන් නැඟී සිට උන් වහන්සේ ගේ ඥානය පටිච්චසමුප්පාදයට යැවූහ. එහි පිළිවෙල මෙසේ ය.
“අහෝ! මේ සත්ත්ව සමූහය දුකට පැමිණියේ ය. මේ සත්ත්වයේ උපදින්නාහු ද වෙති, දිරන්නාහු ද වෙති, මැරෙන්නාහු ද වෙති, නැවත නැවත මැරෙන්නාහු ද වෙති, නැවත නැවත උපදින්නාහු ද වෙති. එහෙත් ඔවුහු ජරා මරණයෙන් මිදීමක් නො දකිති. කවදා මේ ජරාමරණ සංඛ්‍යාත දුඃඛයෙන් මිදීමක් පෙනෙන්නේ ද, කුමක් ඇති කල්හි කිනම් හේතුවක් නිසා ජරාමරණය වේ දැ” යි උන්වහන්සේ නුවණින් විමසන්නට බලන්නට වූහ. එකල්හි ඉපදීම ඇති කල්හි ඉපදීම නිසා ජරා මරණය වන බව උන් වහන්සේගේ නුවණට පෙනිණ.
ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කිනම් හේතුවකින් ජාතිය ඇති වේ දැ යි කල්පනා කළහ. උන් වහන්සේ ගේ නුවණට භවය ඇති කල්හි භවය හේතු කොට ඉපදීම ඇති බව පෙනිණ.
ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කුමක් හේතු කොට භවය ඇති වේ දැ යි කල්පනා කළහ. එකල්හි උන් වහන්සේ ගේ නුවණට උපාදානය ඇති කල්හි උපාදානය නිසා භවය ඇති වේ ය යි පෙනිණ.
ඉක්බිති බෝසතාණෝ කුමක් ඇති කල්හි කුමක් හේතු කොට උපාදානය ඇති වේ දැයි කල්පනා කළහ. උන් වහන්සේ ගේ නුවණට තෘෂ්ණාව ඇති කල්හි තෘෂ්ණාව නිසා උපාදානය ඇති වන බව පෙනිණ.
ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කුමක් නිසා තෘෂ්ණාව ඇති වේ දැයි කල්පනා කළහ. උන් වහන්සේ ගේ නුවණට වේදනාව ඇති කල්හි වේදනාව නිසා තෘෂ්ණාව ඇති වන බව පෙනිණ.
ඉක්බිති මහබෝසතාණෝ කුමක් ඇති කල්හි කුමක් නිසා වේදනාව ඇති වේ දැ යි කල්පනා කළහ. උන් වහන්සේ ගේ නුවණට ස්පර්ශය ඇති කල්හි ස්පර්ශය හේතු කොට වේදනාව ඇති වන බව පෙනිණ.
ඉක්බිති බෝසතාණෝ කුමක් ඇති කල්හි කුමක් නිසා ස්පර්ශය ඇති වේ දැ යි කල්පනා කළහ. උන් වහන්සේ ගේ නුවණට ෂඩායතනය ඇති කල්හි ෂඩායතනය හේතු කොට ස්පර්ශය ඇති වන බව පෙනිණ.
ඉක්බිති මහබෝසතාණෝ කුමක් ඇති කල්හි කුමක් හේතු කොට ෂඩායතනය ඇති වේ දැ යි කල්පනා කළහ. උන් වහන්සේ ගේ නුවණට නාමරූපය ඇති කල්හි නාමරූපය නිසා ෂඩායතනය ඇති වන බව පෙනිණ.
ඉක්බිති මහබෝසතාණෝ කුමක් ඇති කල්හි කුමක් නිසා නාමරූපය ඇති වේ දැ යි කල්පනා කළහ. උන් වහන්සේ ගේ නුවණට විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා නාමරූපය ඇති වන බව පෙනිණ.
ඉක්බිති මහබෝසතාණෝ කුමක් ඇති කල්හි කුමක් නිසා විඤ්ඤාණය ඇති වේ දැ යි කල්පනා කළහ. උන් වහන්සේ ගේ නුවණට සංස්කාරය ඇති කල්හි සංස්කාරය හේතු කොට විඤ්ඤාණය ඇති වන බව පෙනිණ.
ඉක්බිති මහබෝසතාණෝ කුමක් ඇති කල්හි කුමක් හේතු කොට සංස්කාරයෝ ඇති වෙත් දැ යි කල්පනා කළහ. උන් වහන්සේ ගේ නුවණට අවිද්‍යාව ඇති කල්හි අවිද්‍යාව හේතු කොට සංස්කාරයන් ඇති වන බව පෙනිණ.
මෙසේ මහබෝසතාණන් වහන්සේට එසමයෙහි චතුරසංඛ්‍යකල්පලක්‍ෂයක් මුළුල්ලෙහි පිරූ පාරමිතා කුශල බලයෙන් “අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙත්ය. සංස්කාරයන් හේතුකොට විඥානය වේ ය. විඥානය හේතු කොට නාමරූපය වේ ය. නාමරූපය හේතු කොට ෂඩායතනය වේය. ෂඩායතනය හේතුකොට ස්පර්ශය වේය, ස්පර්ශය හේතු කොට වේදනාව වේ ය. වේදනාව හේතු කොට තෘෂ්ණාව වේ ය. තෘෂ්ණාව හේතු කොට උපාදානය වේ ය, උපාදානය හේතු කොට භවය වේ ය, භවය හේතු කොට ජාතිය වේ ය, ජාතිය හේතු කොට ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්ස්ය උපායාසයෝ වෙත් ය” යි පෙර නො ඇසූ විරූ මේ ප්‍රතීත්‍යසමුත්පාද පිළිබඳ වූ ප්‍රඥා චක්ෂුස උපන, ඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.
ඉක්බිති මහබෝසතාණෝ කුමක් නැති කල්හි ජරා මරණය නො වේ ද, කුමක් නිරුද්ධ කල්හි ජරා මරණ නිරෝධය වේ දැ යි කල්පනා කළහ. උන් වහන්සේ ගේ නුවණට ජාතිය නැති කල්හි ජරා මරණය නො වන බව හා ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වන බව පෙනිණ. මෙසේ එකින් එකේ නිරෝධය නුවණින් බැලූ බෝසතාණන් වහන්සේට සියල්ලේ ම නිරෝධය ද පෙනිණ. මෙසේ මහ බෝසතාණන් වහන්සේට :-
අවිද්‍යාවගේ ම නිරවශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය, සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ ය, විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ය, නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ ය, ෂඩායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වේ ය, ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේ ය, වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වේ ය, තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ය, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ ය, භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ය, ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍යෝපායාසයෝ නිරුද්ධ වෙත් ය. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වේ ය යි පෙර නො ඇසූ විරූ මේ ධර්මය පිළිබඳ ප්‍රඥා චක්ෂුස උපන, ඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.
මෙසේ දක්නා ලද ප්‍රතීත්‍යසමුත්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම්මර්ශනය කොට පිළිවෙළින් සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ග සතර ඵලයට පැමිණ සංසාර චක්‍රය සිඳ උන් වහන්සේ ලොවුතුරා බුදුබවට පැමිණ වදාළසේක. සංසාර චක්‍රය සිඳලීමේ ප්‍රීතිය කරණ කොට ගෙන එදා අරුණෝදය වේලාවෙහිදී ඒ භාග්‍යවතුන් වහන්සේ පෙර බුදුවරයන් වහන්සේලාගේ චාරිත්‍ර ධර්මය අනුව මේ ගාථාව වදාළ සේක.
අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ දුක්ඛාජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි පුන ගෙහං න කාහසී.
සබ්බා තේ ඵාසුකා භග්ගා ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා
“නැවත නැවත ඉපදීම දුකෙක, සසර නැවත නැවත ඉපදීම් වශයෙන් පඤ්චස්කන්ධ සංඛ්‍යාත ගෘහය නැවත නැවත තනන්නා වූ තෘෂ්ණා නමැති වඩුවා සොයමින් ඔහු අල්ලා ගත නො හැකිව නොයෙක් සිය දහස් ගණන් ජාතියෙහි සසර ඒ මේ අත දිවූයෙමි. ස්කන්ධ සංඛ්‍යාත ගෘහය තනන්නා වූ එම්බා තෘෂ්ණා නමැති වඩුව, තා මම දුටුවෙමි. මින් මතු තෝ මට ගෙවල් නො තනන්නෙහි ය. තා ගේ සහකාර කෙලෙස් නමැති පරාල සියල්ල මා විසින් සිඳින ලද්දේ ය. ස්කන්ධ ගෘහයා ගේ මුදුන වූ අවිද්‍යාව මා විසින් නසන ලද්දේ ය. මාගේ සිත අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණියේ ය. තෘෂ්ණාවන්ගේ ක්ෂයය වූ අර්හත්වයට මම පැමිණියේ වෙමි ය” යනු එහි අදහස යි.
බුදුබව පවා සිදු කර දෙන ප්‍රතීත්‍යසමුත්පාදය පිළිබඳ දැනුම ඇති කරගත් තැනැත්තාට කිනම් බෝධියකින් වුව ද නිවන් දැකිය හැකි වන බැවින් නිවන් පතන සියල්ලෝ ම මේ ධර්මය දැන ගැනීමට උත්සාහ කෙරෙත්වා! මෙතැන් පටන් පිළිවෙළින් පටිච්චසමුප්පාදය විස්තර කරනු ලැබේ.
දැනීම වනාහි ඇති සැටියට ම දැනීම ය, වරදවා දැනීම ය යි දෙවැදෑරුම් වේ. තණපත් ආදියෙන් කළ මිනිස් රුවක් දැක එය සැබෑ මිනිසකු වශයෙන් නොව මිනිස් රුවක් සැටියට ම දැනීම ඇති සැටියට දැනීම ය. තණපත් ආදියෙන් කළ මිනිස් රුව දෙස දුරින් බලා එය මිනිසෙකැයි සිතා ගැනීම වරදවා දැනීමය. මේ දෙවැදෑරුම් දැනුම අතුරෙන් ඇති සැටියට නො වරදවා දැනීම ‘විද්‍යා’ නම් වේ. ඇති සැටිය හැර අන් ආකාරයකින් වරදවා දැනීම ‘අවිද්‍යා’ නම් වේ. මෝහය යනු ද එයට නමෙකි. තත්ත්වාකාරයෙන් දැනුම වූ විද්‍යාවට විරුද්ධ බැවින් වරදවා දැනුමට නො දැනීම ය යි ද කියනු ලැබේ. අවිද්‍යාව කවරක් ද යන බව විභංග පාළියේ දැක්වෙන්නේ මෙසේය :-
“තත්ථ කතමා අවිජ්ජා? දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛ සමුදයේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, අයං වුච්චති අවිජ්ජා”
දුක නො දැනීම ය, දුක් ඇති වීමේ හේතුව නො දැනීම ය, දුඃඛ නිරෝධය නො දැනීම ය, දුඃඛ නිරෝධයට පැමිණිමේ ප්‍රතිපදාව නො දැනීම ය යන කරුණු සතර අවිද්‍යාව බව එයින් දැක්විණ.
රිදුමය යි කියනු ලබන දුඃඛ වේදනාව සියල්ලෝ ම දනිති. එය නො හඳුනන තිරිසනකුදු නැත. මෙහි දැන නො දැනීම ය යි කියනුයේ එයට නොවේ. ජාති - ජරා - ව්‍යාධි - මරණ - ශෝක - පරිදේවාදීන් ගෙන් යුක්ත බැවින් ද, සංස්කාර දුඃඛ ය, විපරිණාම දුඃඛ ය, දුඃඛ දුඃඛය යන තෙවැදෑරුම් දුඃඛයෙන් පෙළනු ලබන බැවින් ද පඤ්චස්කන්ධය ම දුඃඛයකි. එහෙත් ඒ බව සත්ත්වයෝ නො දනිති. එබැවින් ඔවුහු ඒ පඤ්චස්කන්ධය ඉතා හොඳ දෙයක් කොට මිහිරි දෙයක් කොට සලකති. මෙහි දුක නො දැනීම ය යි කියනු යේ පඤ්චස්කන්ධය ම දුක් රැසක් බව නො දැනීමට ය.
දුඃඛ වේදනාව ඇති වීමේ හේතු බොහෝ ය. ශරීරයෙහි වූ වාතාදිය ද දුඃඛ වේදනාවට හේතු ය. ගල් මුල් ආදිය හා තදින් හැපීම වැටීම පහර ලැබීම යන ආදිය ද දුඃඛ වේදනාවට හේතු ය. දුඃඛ වේදනාව හඳුනන්නාක් මෙන් ම සියලු සත්ත්වයේ ම එහි හේතූන් ද දනිති. මෙහි දුක් ඇති වීමේ හේතුව නො දැනීමය යි කියනුයේ දුඃඛ වේදනාවේ හේතු නො දැනීමට නොවේ.
සත්ත්වයෝ පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධයක් සැටියට නො ගෙන, මමය - මවය - පියාය - සහෝදරයාය - සහෝදරීය - නෑයාය - මිතුරාය - ස්ත්‍රිය - පුරුෂයාය යනාදීන් ආත්ම වශයෙන් වරදවා ගෙන පඤ්චස්කන්ධයට ඇලුම් කරති. මම ය යි ගෙන ඇලුම් කරන ස්කන්ධ පඤ්චකය ඉදිරියට පවත්වා ගැනීමේ බලවත් ආශාව නිසා මරණයෙන් ද ස්කන්ධ පරම්පරාව නො සිඳී, සත්ත්ව තෙමේ නැවත නැවතත් ඉපදීම් වශයෙන් අපාය ලෝක මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයන්හි ඉපදී අභිනව ස්කන්ධ නැවත නැවත ඒ තෘෂ්ණාව පවත්නා තුරු ලබන්නේය. එ බැවින් පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛයේ හේතුව තෘෂ්ණාව බව තථාගතයන් වහන්සේ වදාළ සේක. සත්ත්වයෝ ඒ තෘෂ්ණාව දුක් ලැබීමේ හේතුවක් සැටියට නොව සත්ත්වයකුට තිබිය යුතු ම දෙයක් සැටියට මනා දෙයක් සැටියට ගෙන ඒ ආශාව නො හැර ම පවත්වා ගෙන යති. ඒ දුක් ඉපදීමේ හේතුවක් බව ඔවුහු නො දනිති. මෙහි දුක් ඇති වීමේ හේතුව නො දැනීම ය යි කියන ලදුයේ ඒ තෘෂ්ණාවේ දුක් ඉපදීමට හේතු වන බව නො දැනීමට ය.
යමක් දුක නම් එහි නැති බව සුවයෙකි. දුක යම් පමණ මහත් නම් එහි නැති බව වූ සුවයත් එ පමණට ම මහත් බව කිය යුතු ය. මහත් ම දුක නම් පඤ්චස්කන්ධය නමැති දුක ය. එයට වඩා මහත් දුකක් තවත් නැත. එ බැවින් පඤ්චස්කන්ධයාගේ නිරෝධය මහත් ම සුවය යි. එයට වඩා මහත් වූ එයට වඩා වටිනා වූ තවත් සුවයක් නැත. එහෙත් සත්ත්වයෝ ඒ බව නො දනිති. ඔවුනට වැටහෙනුයේ පඤ්චස්කන්ධය නැති වීම ඉතාම හානිය - ඉතාම නපුර - මහත් ම දුක සැටියට ය. එ බැවින් ඔවුහු ඒ පඤ්චස්කන්ධ නිරෝධයට අන් හැමටම වඩා බිය වෙති. මෙහි දුඃඛ නිරෝධය නො දැනීම ය යි කියනුයේ පඤ්චස්කන්ධ නිරෝධයාගේ උතුම් බව - සුවයක් බව නො දැනීමට ය.
දුඃඛ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට පැමිණීමේ නො වරදින මාර්ගය වූ ශීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ත්‍රිශික්ෂා පරිපූරණය සත්ත්වයාට වැටහෙනුයේ සැපයට පැමිණීමේ මාර්ගයක් සැටියට නොව, දුකක් හා දුකට පැමිණීමේ මාර්ගයක් ලෙසට ය. ශීල පරිපූරණය සඳහා ගිහි ගෙය හැර, නෑයන් මිතුරන් හැර, පැවිදි වීම ඔහුට පෙනෙන්නේ මහත් වූ දුකක් ලෙසට ය. එය මතුවට ද බොහෝ දුක් ඇති වීමේ හේතුවක් ලෙසට ය. එබැවින් සත්ත්වයෝ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට බිය වෙති. එය නො පුරති. පිරීම ම අනුවණ කමක් සේ සිතති. ප්‍රාණඝාතාදිය ම සැපයට පැමිණීමේ සැපය ලැබීමේ මාර්ගය ය යි සිතා ඒවා ඉතා ඕනෑකමින් කරති. මෙහි දුක්ඛනිරෝධයට පැමිණීමේ මාර්ගය නො දැනීම ය යි කයන ලදුයේ සැපය ලැබීමේ සැපයට පැමිණීමේ මාර්ගය පිළිබඳ වූ මේ වැරදි හැඟීම්වලට ය.
‘සංඛාර’ යනු අර්ථ කීපයක යෙදෙන වචනයෙකි. “අනිච්චා වත සංඛාරා” යන්නෙහි සංඛාරය යි කියනුයේ ප්‍රත්‍යයන් විසින් ඇති කරන ලද ධර්මයන්ට ය. “අවිජ්ජා පච්චයා සංඛාරා” යන මෙහි සංඛාරය යි කියනුයේ පින් - පව්වලට ය. තවත් ක්‍රමයකින් කියතහොත් සත්ත්වයන්ගේ කැරුම් කියුම් සිතුම් සංඛාරයෝ ය. ඒවාට සංඛාරය යි කියනුයේ මතු විපාකයක් ඇති කරන ධර්මයෝ ය යන අර්ථයෙනි. විභංග පාළියෙහි වනාහි :-
“තත්ථ කතමේ අවිජ්ජා පච්චයා සංඛාරා? පුඤ්ඤාභිසංඛාරෝ, අපුඤ්ඤාභිසංඛාරෝ, ආනෙඤ්ජාහි සංඛාරෝ, කායසංඛාරෝ, වචීසංඛාරෝ, චිත්ත සංඛාරෝ” යි.
එක් ක්‍රමයකින් පුඤ්ඤාභිසංඛාරය, අපුඤ්ඤාභි සංඛාරය, ආනෙඤ්ජාභිසංඛාරය යන තුන ද, තවත් ක්‍රමයකින් කායසංඛාරය, වචීසංඛාරය, චිත්තසංඛාරය යන තුන ද අවිද්‍යාව නිසා හටගන්නා වූ සංඛාරයෝ ය යි දක්වන ලදී. එහි දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර කුශල චේතනාව හා භාවනාමය වූ රූපාවචර කුසල චේතනාව ද පුඤ්ඤාභිසංඛාර නමි. කාමාවචර වූ අකුශල චේතනාව අපුඤ්ඤාභිසංඛාර නමි. අරූපාවචර කුශල චේතනාව ආනෙඤ්ජාභිසංඛාර නමි.
‘ආනෙඤ්ජ’ යන වචනයේ තේරුම නො සැලෙන දෙය යනු යි. රූපාවචර කුශලය වනාහි සමාධියට සතුරු වූ ධර්මයන්ට සමීප වූවකි. අරූපාවචර කුශලය වනාහි සමාධියට සතුරු වූ කාමච්ඡන්දාදීන් කෙරෙන් ඉතා දුරට ගිය ධර්මයෙකි. එය කාමච්ඡන්දාදීන් විසින් පහසුවෙන් සෙලවිය හැකි නො වේ. ඒ අරූප කුශලයෙන් උපදවන භවය ද කිසිවෙක නො සැපෙන අතිසූක්ෂ්ම භවයක් වූයෙන් කිසිවක් නිසා නො සැලෙන භවයකි. අරූපාවචර කුශලය වනාහි තමා නො සැලෙන බැවින් හා නො සැලෙන භවයක් ඇති කරන බැවින් ද ආනෙඤ්ජාභි සංඛාර නම් වේ.
කායසංඛාරාදි තුන අතුරෙන් ශරීරය උපකරණයක් කොට ගෙන එහි ආධාරයෙන් කර්මය සිදු කරන කුශලාකුශල චේතනාව කායසංඛාර නම් වේ. මලක් පුදන තැනැත්තා එය සිදු කරනුයේ මල අතින් ගෙන පූජාසනයෙහි තැබීමෙනි. අතේ උපකාරය නැතිව මල් පිදීමේ චේතනාවට පමණක් එය නො කළ හැකි ය. එබැවින් අතින් ගෙන මල් පුදන්නා වූ කුශල චේතනාව කාය සංඛාරයකි. සතකු මරන තැනැත්තා එය කරනුයේ අතින් හෝ අතින් ගත් ආයුධයකිනි. ශරීරයේ ආධාරය නැතිව චේතනාවට ම ප්‍රාණවධය නො කළ හැකි ය. එබැවින් සතකු මරන්නා වූ ප්‍රාණඝාත චේතනාව කායසංඛාරයකි. වචනය උපකරණයක් කොට ගෙන එහි ආධාරයෙන් කාර්‍ය්‍යය සිදු කරන චේතනාව වචීසංඛාර නමි. කථා කිරීමේ මාර්ගයෙන් ක්‍රියා සිද්ධිය කරන චේතනාවෝ වචීසංඛාරයෝ ය. කයේ හෝ වචනයේ හෝ උපකාරයක් වුවමනා නැති, මෙත් කිරීම් ද්වේෂ කිරීම් ආදි වශයෙන් පවත්නා කුශලාකුශල චේතනාවෝ චිත්තසංඛාරයෝ ය.
මෙසේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා සංඛාරය දෙයාකාරයකින් දක්වන ලද නමුත් ධර්ම වශයෙන් ඒවායේ වෙනසක් නැත. පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාර ආනෙඤ්ජාභිසංඛාර ය යි කී කල්හි ද සංඛාර සියල්ල ම ගැනෙන්නේ ය. කායසංඛාර වචීසංඛාර චිත්තසංඛාරය යි කී කල්හි ද සංඛාර සියල්ල ම ගැනෙන්නේ ය. ශරීරයේ ආධාරයෙන් ක්‍රියා සිද්ධිය කරන පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාරයෝ කායසංඛාරයෝ ය. කථාකිරීමෙන් ක්‍රියා සිද්ධිය කරන පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාරයෝ වචීසංඛාරයෝ ය. ක්‍රියා සිද්ධිය සඳහා ශරීරයේ හා කථාවේ ද උපකාරයක් උවමනා නො වන පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාරයන් හා ආනෙඤ්ජාභිසංඛාරයෝ චිත්ත සංඛාරයෝ ය.
සත්‍යය වසන්නා වූ ස්වභාවයෙන් අවිද්‍යාව අන්ධකාරයක් වැනි ය. කාරණය වරදවා දක්වන්නා වූ ස්වභාවයෙන් පාට කන්නාඩියක් වැනි ය. නිල් කන්නාඩියකින් ලෝකය බලන්නා හට හැම දෙයක් ම නිල් පැහැයට පෙනේ. එමෙන් අවිද්‍යාසහගත සිතින් තමාගේ පඤ්චස්කන්ධය හා බාහිර ලෝකයත් බලන්නා වූ හෙවත් සිතන්නා වූ තැනැත්තාට ඇති සැටියට නොව අවිද්‍යාපටලයේ සැටියට ඒවා අන් ආකාරයකට පෙනේ. දුඃඛ සත්‍යය වසන අවිද්‍යාවෙන් යුක්ත වූ සිතින් තමා ගේ හා අනුන් ගේ ස්කන්ධයන් බලන්නා වූ තැනැත්තා හට, ජාති ජරා ව්‍යාධි මරණාදි ගිනිවලින් වෙළී ඒ ගිනිදැල් මැද ගිනි පෙනෙල්ලක් සේ පවත්නා වූ, කිසිම හරයක් නැත්තා වූ, නිතර ම දුක් ගෙන දෙන්නා වූ පඤ්චස්කන්ධය, පරම සුන්දර දෙයක් ලෙස පෙනෙන්නේ ය. ලෝකයෙහි ඇති ඉතා ම උතුම් දෙය ඉතා ම වටිනා දෙය සැටියට පෙනෙන්නේ ය. එසේ පෙනීමෙන් ඔහුට ස්වකීය පඤ්චස්කන්ධය කෙරෙහි මහත් ඇල්මක් ඇති වේ. අන්‍ය ඇතැම් පුද්ගලයන්ගේ පඤ්චස්කන්ධයන් පිළිබඳව ද එයට දෙවැනි තරමේ හෝ ඒ තරමේ ම හේ ඇල්මක් ඇති වේ.
සමුදය සත්‍ය වසන මෝහය අප්‍රහීණ බැවින් ඔහුට ඒ ඇල්ම දුක් ඇතිවීමේ හේතුව බව නො පෙනෙන්නේ ය. ඔහුට පෙනෙන්නේ ඒ ඇලම සැපයට හේතුවක් ලෙසය. ඒ ඇල්ම උතුම් කොට ගන්නා වූ තැනැත්තේ සමහරවිට එයින්, “මම දරුවන්ට ආලය ඇත්තා වූ නෑයන්ට - මිතුරන්ට - රටට - ජාතියට ආලය ඇත්තා වූ කෙනෙක් වෙමිය” යි තමා ගැන ආඩම්බර ද වෙයි. ආලයක් නැතියවුන් පහත් කොට ද සිතයි. දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රතිච්ඡාදනය කරන අවිද්‍යාවෙන් වැසීම නිසා සත්ත්වයා හට ඒ දුක් ගොඩක් වූ පඤ්චස්කන්ධයාගේ පැවැත්ම ම සුවයක් සැටියට පෙනේ.
දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය වසන අවිද්‍යාව නිසා සත්ත්වයා හට, ඒ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධය පවත්වා ගැනීම සඳහා ද, සුවපත් කරනු සඳහා ද, මතු මතු ද, පඤ්චස්කන්ධය ලැබීම සඳහා ද, කරන්නා වූ ක්‍රියා රාශිය, සැපය ඇතිකර ගැනීමේ මාර්ගය සැටියට පෙනෙන්නේ ය. අවිද්‍යාව නිසා සිදුවන මේ වැරදි හැඟීම් නිසා සත්ත්ව තෙමේ වර්තමාන ස්කන්ධ පඤ්චකය පෝෂණය කිරීම සඳහා ද ආරක්‍ෂා කිරීම සඳහා ද ක්‍රියා කරන්නට වන්නේය. ඒ ක්‍රියා අවිද්‍යාව නිසා ඇතිවන සංස්කාරයෝ ය.
අවිද්‍යාවෙන් මුළා වූ සත්ත්ව තෙමේ තමාගේ පඤ්චස්කන්ධය පෝ‍්ෂණය කිරීම හා සුවපත් කරනු පිණිස ද, පුත්‍රදාරාදි අන්‍යයන් පෝෂණය කිරීම හා සැපවත් කරනු පිණිස ද, සමහර විට එළුවන්, කුකුළන්, මසුන් ආදි සතුන් මරයි. සමහර විට සොරකම් කරයි. අනුන් අයත් දෑ බලයෙන් ගනියි. වඤ්චා කොට ගනියි. සමහර විට පරදාර සේවනය කෙරෙයි. බොරු කියයි. සුරාපානය කරයි. කේලාම් කියා ඔවුනොවුන් බිඳවයි. අහිතයන්ට පරුෂ වචනයෙන් බණී. පලක් නැති කථා කරයි. අනුන් ගේ සම්පතට ආශා කරයි. මිථ්‍යාදෘෂ්ටි ගනී. මේ අවිද්‍යාව හේතු කොට වර්තමාන ස්කන්ධයන් සම්බන්ධයෙන් අපුඤ්ඤාභි සංඛාරය ඇති වන ආකාරය යි.
සමහර විට සත්ත්ව තෙමේ මෙලොව යහපත සඳහා දෙවියන් සතුටු කිරීම පිණිස පින් කරයි. අන්‍යයන් සතුටු කිරීම පිණිස ද දානාදි පින්කම් කරයි. ග්‍රහදෝෂාදිය දුරුවන්නට සිතා පින්කම් කරයි. ප්‍රාණඝාතාදියෙන් වැළකෙයි. මෙත් වැඩීම් ආදි භාවනා කෙරෙයි. මේ වර්තමාන පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් පුඤ්ඤාභිසංඛාරය ඇති වන ආකාරය යි.
වඩාත් මුළාවට පැමිණි තැනැත්තේ අනාගතයෙහි පොහොසතකු වීමේ සිටුවරයකු වීමේ රජකු වීමේ දෙවියකු වීමේ බ්‍රහ්මයකු වීමේ බලාපොරොත්තුවෙන් සමහර විට සතුන් මරා දෙවියන් පුදයි. බොහෝ සතුන් මරා මහා යාග පවත්වයි. ගෝශීල ගෝව්‍රත කුක්කරශීල කුක්කරව්‍රතාදි මිථ්‍යා ශීල ව්‍රතයන් පුරයි. මේ අනාගතස්කන්ධ සම්බන්ධයෙන් අපුඤ්ඤාභිසංඛාරය ඇති වන ආකාරය යි.
සද්ධර්ම ශ්‍රවණ සත්පුරුෂ සේවනාදියෙන් දානාදි පින්කම් කොට මතු දෙවි මිනිස් සැප ලැබිය හැකි බව දත් තැනැත්තෝ දෙවි මිනිස් සැප සඳහා දන් දෙති. ප්‍රාණඝාතාදි පාපයෙන් වළකිති. මාපියාදීන්ට සත්කාර කරති. මෛත්‍රී ආදි භාවනා කරති. රූපාරූප බ්‍රහ්ම සම්පත්තිය ගැන ඇසුවෝ ධ්‍යාන භාවනා කරති. මේ අනාගත ස්කන්ධයන් සම්බන්ධයෙන් අවිද්‍යාව නිසා පුඤ්ඤාභිසංඛාර ආනෙඤ්ජාභිසංඛාර දෙක ඇති වන ආකාරය යි.
අවිද්‍යාව හේතු කොට සංස්කාර හටගැනේය යි කීමෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ම මිස අනිකකට හේතු නො වන්නේය යි ද, සංස්කාරය ඇතිවන්නේ අවිද්‍යාව නමැති එක ම හේතුවෙනැයි ද නො ගත යුතු ය. සංස්කාරයන් ගෙන් අන්‍ය වූ තවත් බොහෝ ඵල අවිද්‍යාවෙන් ඇති කරනු ලැබේ. සංස්කාරයන් ඇතිවීමට ද අවිද්‍යාවෙන් අන්‍ය බොහෝ හේතු ද ඇත්තේ ය. සංස්කාරාදි ඵල ධර්මයන් ඇතිවීමට තිබිය යුතු සියලු ම හේතු දක්වා පටිච්චසමුප්පාදය දේශනා කළ හොත් එය ඉතා දීර්ඝ වූ ද හුණපඳුරක් සේ අතිශයින් අවුල් වූ ද, ලෙහෙසියෙන් තේරුම් ගත නො හෙන්නා වූ දේශනයක් වන්නේ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් ප්‍රධාන වූ ද, ප්‍රකට වූ ද, එක් එක් හේතුව බැගින් ගෙන පටිච්චසමුප්පාදය දේශනා කරන ලදී.
පිසන තැනැත්තාය - ලිපය - දරය - ගිනිය - සැළියය යන මේවා බත ඇති වීමේ හේතු ය. පිසන තැනැත්තකු ඇත ද ලිපක් ඇත ද දර ඇත ද ගිනි ඇත ද සැළිය ඇත ද ගොවියා ගොවිකම් කොට සහල් නො නිපදවන ලද නම්, පිසන තැනැත්තා ආදි හේතූන්ට බත ඇති කළ හැකි නො වේ. එබැවින් ගොවියා ගේ ගොවිකම් කිරීම බත ඇතිවීමේ ප්‍රධාන හේතුව බව කිය යුතු ය. එමෙන් සත්පුරුෂ සේවන - අසත්පුරුෂ සේවන - සද්ධර්ම ශ්‍රවණ - අසද්ධර්ම ශ්‍රවණ - යෝනිසෝමනස්කාර - අයෝනිසෝමනස්කාර - වස්තු - ආරම්මණාදි බොහෝ සංස්කාර හේතූන් ඇත ද, අවිද්‍යාව ප්‍රහීණ නම් ඒ හේතූහු සංස්කාරයන් ඉපදවීමට සමත් නො වෙති. තිබිය යුතු අන්‍ය හේතූන් ගෙන් සමහරක් අඩු වුව ද අවිද්‍යාව ඇතහොත් සංස්කාරය ද ඇති වන්නේ ය. එබැවින් අවිද්‍යාව සංස්කාරයන්ගේ ප්‍රධාන හේතුව ද වේ. ප්‍රකට හේතුව ද වේ. විඤ්ඤාණාදීන්ගේ හේතුඵල තත්ත්වය ද මෙසේ ම සලකා ගත යුතුය. මෙසේ ප්‍රධාන වූ ද ප්‍රකට වූ ද හේතූන් පමණක් ගෙන දේශනා කරන කල්හි පටිච්චසමුප්පාදය සංක්ෂේප වූ ද නිරවුල් වූ ද ශ්‍රාවකයන්ට පහසුවෙන් තේරුම් ගත හැකි වූ ද දැරියහැකි වූ ද දේශනයක් වන්නේ ය.
අවිද්‍යාව අකුශලයකි. ඒකාන්තයෙන් අනිෂ්ට ඵලයක් ඇති කරන්නකි. කුශලයට විරුද්ධ වූවකි. කුශලයට විරුද්ධ වූ අවිද්‍යාව තමාට සමාන වූ අකුශලයකට මිස තමා හා විරුද්ධ වූ පුණ්‍යාභිසංඛාර ආනෙඤ්ජාභිසංස්කාරයන්ට හේතු වන්නේ කෙසේ ද? යන ප්‍රශ්නය මෙහි දී නැගිය හැකි ය.
ලෝකයෙහි හේතුව වනාහි සෑම කල්හි තමාට සමාන වූ තමාට අවිරුද්ධ වූ ඵලයක් ම උපදවන්නක් නො වේ. සමහර විට හේතුව තමාට සම වූ තමාට මිත්‍ර වූ ඵලයක් උපදවයි. සමහර විට තමාට නො සම වූ ද තමාට විරුද්ධ වූ ද ඵලයක් උපදවයි. දුර්වර්ණ වූ ද දුර්ගන්ධ වූ ද අපවිත්‍ර වූ ද මඩින්, වර්ණවත් වූ ද සුගන්ධවත් වූ ද පවිත්‍ර වූ ද පද්මය උපදවයි. දරයෙන් එයම නසන්නා වූ එයට පරම සතුරු වූ ගින්න උපදවයි. එහෙයින් අවිද්‍යාව නිසා එය හා නො සම වූ එයට විරුද්ධ වූ පුඤ්ඤාභිසංඛාරය හා ආනෙඤ්ජාභිසංඛාරය ඇති වේ ය යි කීමෙහි දෝෂයක් නැති බව දත යුතු ය.
මේ පටිච්චසමුප්පාදය අවිද්‍යාව මුල් කොට දේශනා කර තිබෙනුයේ ප්‍රකෘතිවාදීන් කියන ප්‍රකෘතිය මෙන් ද, දේවවාදීන් කියන මැවුම්කාර දෙවියා මෙන් ද, අවිද්‍යාව යම්කිසි හේතුවක් නැතිව ඉබේ ම හටගත් ධර්මයක් නිසා නො වේ. චක්‍රයක් සේ සෑදී තිබෙන ධර්ම සමූහයක් ගැන කියන කල්හි කොතැනකින් වුව ද පටන් ගෙන කිය හැකි ය. පටිච්චසමුප්පාදය ද චක්‍රයක් වී තිබෙන ධර්ම පරම්පරාවකි. එබැවින් එය කොතැනකින් වුව ද පටන් ගෙන නොකිය හැකි නොවේ. පටිච්චසමුප්පාද දේශනා ඇත්තේ ද එකක් ම නොවේ. තථාගතයන් වහන්සේ විසින් පටිච්චසමුප්පාදය දේශිත සූත්‍ර ධර්‍ම නිදානවග්ගසංයුත්තකයේම සිය ගණනෙකි. විභංග පාළියේ ද පටිච්චසමුප්පාද දේශනා බොහෝ ගණනෙකි. තවත් නොයෙක් තැන්වල නොයෙක් අයුරින් පටිච්චසමුප්පාදය දේශනා කර තිබේ. මෙහි දක්වන ලදුයේ විභංගප්‍රකරණයේ එන අවිද්‍යාමූලික ප්‍රතීත්‍යසමුත්පාදයකි.
ප්‍රතීත්‍යසමුත්පාදාංගයන් අතුරෙන් අවිද්‍යා - තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකකි. ප්‍රධාන ධර්ම දෙකකි. සුරාපානයෙන් මත් වූ තැනැත්තා විසින් තමාට අහිත වූ දෑ කරන්නාක් මෙන් අවිද්‍යාවෙන් මූඪ වූ සත්ත්ව තෙමේ තමාට අහිත වන්නා වූ ප්‍රාණඝාතාදි පාපකර්මයන් කරන බැවින් අවිද්‍යාව දුර්ගතිගාමී කර්මයට විශේෂ හේතුවක් වේ. භවතෘෂ්ණාවෙන් මඩනා ලද සත්ත්ව තෙමේ මතු සුගතියෙහි ඉපදීමට පින් කරන බැවින් තෘෂ්ණාව සුගතිගාමී කර්මයට විශේෂයෙන් හේතුවෙයි. මෙසේ දුර්ගති - සුගතිගාමී කර්මයන්ට විශේෂයෙන් හේතු වන බැවින් අවිද්‍යා තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකකැ යි ද ප්‍රධාන ධර්ම දෙකකැ යි ද කියනු ලැබේ.
අවිද්‍යා - තෘෂ්නා දෙක මෙසේ මූල ධර්ම වශයෙන් හා ප්‍රධාන ධර්ම වශයෙන් සැලකිය යුතු බැවින් තථාගතයන් වහන්සේ සමහර තැනක දී අවිද්‍යාවෙන් පටන් ගෙන ද, සමහර තැනක දී තෘෂ්ණාවෙන් පටන් ගෙන ද, පටිච්චසමුප්පාදය දේශනා කළ සේක. එයින් අවිද්‍යාවේ හෝ තෘෂ්ණාවේ අහේතුක බවක් හෝ ලෝකයෙහි මුලින් ම ඇති වූ බවක් හෝ අදහස් කරනු නො ලැබේ. ඒවා සංස්කාරාදීන් මෙන් ම හේතුවෙන් හට ගන්නා ධර්මයෝ ය. මේ සංසාර චක්‍රය සිඳ දුකින් මිදී නිවනට පැමිණිමට කළ යුත්තේ ද අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍රහාණය කිරීම ය. ඒ දෙක ප්‍රහාණය කළ කල්හි සංසාර චක්‍රය සිඳේ. එය ද ඒ දෙක මුල් කොට දේශනා කිරීමේ එක් කාරණයකි.
“තත්ථ කතමං සංඛාරපච්චයා විඤ්ඤාණං? චක්ඛුවිඤ්ඤාණං, සෝතවිඤ්ඤාණං, ඝාණවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනෝවිඤ්ඤාණං ඉදං වුච්චති සංඛාරපච්චයා විඤ්ඤාණං”
යනුවෙන් විභංග පාළියෙහි චක්ඛුවිඤ්ඤාණය, සෝතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය, ජිව්හාවිඤ්ඤාණය, කායවිඤ්ඤාණය, මනෝවිඤ්ඤාණය යන මේ සය සංස්කාර හේතුවෙන් හටගන්නා වූ විඤ්ඤාණය යි දැක්විණ. ‘විඤ්ඤාණය’ යනු දැනීම හෙවත් සිත ය. සයක් වූ විඤ්ඤාණයන්ගෙන් චක්ඛුවිඤ්ඤාණයට පෙනීම ය යි ද, සෝතවිඤ්ඤාණයට ඇසීම ය යි ද කියනු ලැබේ. විඤ්ඤාණය සාමාන්‍යයෙන් එකක් වුව ද කුශලාකුශලාව්‍යාකෘත වශයෙන් තෙවැදෑරුම් වේ. එයින් මෙහි ගනු ලබනුයේ අව්‍යාකෘත විඤ්ඤාණය යි. එ ද විපාක ක්‍රියා වශයෙන් දෙවැදෑරුම් වේ. මෙහි ගනු ලබනුයේ විපාක විඤ්ඤාණය යි.
චතුරාර්‍ය්‍ය සත්‍යය නො දැනීම වූ අවිද්‍යාව නිසා සංස්කාර සංඛ්‍යාත කුශලාකුශල කර්මයන් රැස් කළ තැනැත්තා මළ කල්හි එයට අනතුරුව ම එළඹ සිටි කර්මයක් හේතු කොට ඒ කර්මයට අනුරූප වන පරිදි යම්කිසි ස්ථානයක මනෝවිඤ්ඤාණයක් පහළ වේ. භවයක දී පළමුවෙන් ම පහළ වන ඒ මනෝ විඤ්ඤාණයට ප්‍රතිසන්ධි විඤ්ඤාණය යි කියනු ලැබේ. එය පහළ වීමෙන් සත්ත්වයා දෙවන භවයට පැමිණියේ ය යි ද දෙවන භවයෙහි උපන්නේ ය යි ද කියනු ලැබේ. අතීත කර්ම හේතුවෙන් අන් තැනක විඤ්ඤාණයක් පහළ වීමෙන් සිදු වන සත්ත්වයාගේ නැවත නැවත ඉපදීම, අවබෝධ කර ගැනීමට ඉතා දුෂ්කර වූ - ගැඹුරු වූ කරුණකි. පටිච්චසමුප්පාදය ද ඉතා ගැඹුරු ධර්මයකි.
එක් දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත ගොස් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! මේ ප්‍රතීත්‍යසමුත්පාදය ඉතා ගැඹුරුය, ඉතා ගැඹුරු සේ පෙනෙන්නේ ය. ස්වාමීනි! ආශ්චර්‍ය්‍යයෙකි. මට නම් එය නො ගැඹුරු දෙයක් සේ පෙනේය” යි සැල කළ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මා හෙවං ආනන්ද! අවච, මා හෙවං ආනන්ද! අවච” යනුවෙන් “ආනන්ද! එසේ නො කියව” යි දෙවරක් ම වළක්වා, “ආනන්දය! මේ පටිච්චසමුප්පාදය ගැඹුරු ම ය. ගැඹුරක් සේ ම පෙනෙන්නේ ය. මේ ධර්මය අවබෝධ කර ගත නුහුණු බැවින් සත්ත්වයෝ අවුලෙන් අවුලට පත්ව, දුර්ගතිය ඉක්මවිය නො හැකිව, සසර ඉක්මවිය නො හැකිව සිටිති” යි වදාළ සේක.
මෙසේ ගැඹුරු වූ පටිච්චසමුප්පාදයෙහි ද මෙය ඉතා ගැඹුරු තැන ය. විමසන්නා වූ තැනැත්තා හට ලෙහෙසියෙන් නො වැටහෙන කරුණකට, ගැඹුරු කරුණ ය යි කියනු ලැබේ. සත්ත්වයා නැවත උපදී ද? නැතහොත් මරණයෙන් කෙළවර වේ දැ යි සිතන්නකුට නැවත නැවත උපදනා බව ලෙහෙසියෙන් දැකිය හැකි නො වේ. මෙය ඉතා ගැඹුරු කරුණකැ යි කියන ලදුයේ එහෙයිනි.
ලෝකයෙහි කලාතුරකින් කෙනකුට තමන් ගේ අතීත ජාතිය සිහි කළ හැකි ශක්තියක් උත්පත්තියෙන් ම ලැබේ. ඔවුනට එයින් ම නැවත නැවත උත්පත්තියක් ඇති බව දැනේ. සමහරුන්ට තමන් ගේ කාලක්‍රියා කළ ඥාතීහු අමනුෂ්‍යයන් වී පැමිණ කරදර කරන්නට පටන් ගනිති. සමහරුන්ට උපකාර කරන්නට ද පටන් ගනිති. එවැනි සිදුවීම් ඇති වූවන්ට ඒවායින් සත්ත්වයා ගේ නැවත උත්පත්තිය ඇති බව පැහැදිලි වේ. ධ්‍යාන භාවනා කොට පූර්‍වෙනිවාසානුස්මෘති ඥාන, පරචිත්තවිජානන ඥානාදි විශේෂ ඥානයන් ලබා ගත් යෝගීන්ට නැවත උත්පත්තිය ප්‍රත්‍යක්ෂ වශයෙන් ම පෙනේ. සියල්ල දත් ලොවුතුරා බුදුවරයන් වහන්සේලාගේ දිවැසට එය මැනවින් පෙනේ.
එබැවින් :-
“සෙය්‍යථාපි භික්ඛවේ! ද්වේ අගාරා සන්ධිද්වාරා තත්ථ චක්ඛුමා පුරිසෝ මජ්ඣෙ ඨිතෝ පස්සෙය්‍ය, මනුස්සේ ගේහං පවිසන්තේපි නික්ඛමන්තේපි අනුසඤ්චරන්තේපි අනුවිචරන්තේපි. ඒවමේව ඛෝ අහං භික්ඛවේ! දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකේන සත්තේ පස්සාමි, චවමානේ උප්පජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාමි”
යනු වදාරන ලදී. “එකිනෙකට මුහුණ ලා පිහිටි ගෙවල් දෙකක මැද, බලා සිටින්නා වූ ඇස් ඇති පුරුෂ තෙමේ ඒ ගෙවල් දෙකට ඇතුළු වන්නා වූ ද, ඒවායින් පිට වන්නා වූ ද, ඒ ගෙයින් මේ ගෙට යන්නා වූ ද, මේ ගෙයින් ඒ ගෙට යන්නා වූ ද, මිනිසුන් යම් සේ දකී ද, මහණෙනි! එ පරිද්දෙන් ම මම මිනිසුන් ගේ ඇස ඉක්ම සිටියා වූ පිරිසිදු වූ දිවැසින්, මැරෙන්නා වූ ද උපදනා වූ ද උසස් වූ ද පහත් වූ ද මනා වර්ණ ඇත්තා වූ ද දුර්වර්ණ වූ ද සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද කර්මය වූ පරිද්දෙන් ඒ ඒ තැනට ගිය සත්ත්වයන් දකිමි” යනු එහි තේරුම යි. සැම දෙනාට ම නො දැනෙන නො පෙනෙන මෙ බඳු ගුප්ත කරුණු සාමාන්‍ය ජනයා විසින් ස්වකීය ශාස්තෘවරයා කෙරෙහි විශ්වාසය තබා පිළිගත යුතු ය. වෙන කරන්නට දෙයක් ඔවුනට නැත.
“අනුන්ට පෙනෙන දැනෙන යමක් ඇති නම් ඒ සියල්ල තමන්ටත් පෙනෙන්නට - දැනෙන්නට ඕනෑය” යනු පුහු මානය නිසා ඇතැමෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහිදු විශ්වාසය තබන්නට අකමැති වෙයි. ඔවුහු තමනට නො පෙනෙන බැවින් ම පුනරුත්පත්තියක් නැතය යි මිසදිටු ගනිති. ලෝකයට ශාස්තෘවරයන් ගුරුවරයන් වුවමනා වන්නේ සැම දෙනා විසින් ම සියල්ල නො දැකි හැකි හෙයිනි. තමනට නො පෙනෙන අනුන් ගේ කීම් අසා දතයුතු මෙබඳු කරුණු සම්බන්ධයෙන් සැක ඇතිවීම නම් නො වැළැක්විය හැකි කරුණකි. ඒ සැකය එතැම් අනර්ථ දායක නො වේ. සැකයෙන් පමණක් නො නැවතී තමාට නො දැනෙන - නො පෙනෙන කරුණු එ පමණකින් ම ප්‍රතික්ෂේප කිරීම අනුවණ කමෙකි. මෙ බඳු කරුණු දැනීමට බොහෝ වෙහෙසී ලබාගත යුතු විශිෂ්ට ඥානයක් වුවමනා වෙතත්, ‘නැතය’ යි ප්‍රතික්ෂේප කිරීමට වුවමනා, මානයත් මෝඩකමත් පමණෙකි.
සත්ත්වයන්ගේ නැවත නැවත උත්පත්තියක් ඇතය යන බුදුන් වහන්සේගේ වචනය ගෞරවයෙන් පිළිගෙන ලෝකය දෙස බලන්නාහට එය සත්‍ය බවට නොයෙක් විට නොයෙක් සාක්ෂ්‍ය ලෝකයෙන් ලැබේ. ඒවායින් ඔහුගේ සැකය දුරු වේ. බුදුන් වහන්සේගේ වචනයට ගරු නො කර තමාට නො පෙනෙන නො දැනෙන පමණින් ම මතු ඉපදීමක් නැතය යන උච්ඡේද දෘෂ්ටිය ගෙන එහි පිහිටා ලෝකය දෙස බලන්නා වූ තැනැත්තාහට පෙනෙනුයේ මතු උත්පත්තියක් නැති බවට සාක්ෂ්‍යයෝ ම ය. ඇති බවට ඇති සාක්ෂ්‍යවලින් එකකුදු ඔහුට නො පෙනේ. එය සිතේ ඇති එක්තරා ගුප්තස්වභාවයකි. ඒ ස්වභාවය නිසා වරක් උච්ඡේද දෘෂ්ටිය ගත් තැනැත්තා එය තව තවත් දැඩි කොට ගන්නේය.
“අනුන් කියනු ඇසූ පමණින් ම යමක් නො පිළිගෙන තමන් ගේ නුවණින් ද විමසා, සත්‍යය යි වැටහුණ හොත් පමණක් පිළිගත යුතු ය” යනු යහපත් උපදෙසක් වන නමුත් එය සැම දෙනාගේ ම කියුම් සම්බන්ධයෙන් හා හැම කරුණක් ම සම්බන්ධයෙන් ද යෙදිය යුත්තක් නොවේ. රෝගියකුට වෛද්‍යවරයා විසින් නියම කළ බෙහෙත ඒ රෝගයට ගුණ වන්නක් ද අගුණ වන්නක් ද ගුණාගුණ දෙක ම නො වන්නක්දැ යි විමසා දැන ගෙන ම බෙහෙත වළඳන්නට සිටිය හොත් ඔහුට මිය යන්නට මිස බෙහෙත් වළඳා රෝගය සුව කරගන්නට කලක් නො ලැබෙන්නේ ය. සෑම දෙන ම එසේ කරන්නට සිතුව හොත් වෛද්‍යවරයකුට මිස අනෙකකුට බෙහෙතක් වළඳන්නට සිදු නො වන්නේ ය. එමෙන් ශාස්තෘන් වහන්සේගේ වචනය විමසා සත්‍යා සත්‍යතාව අවබෝධ කරගෙන ම ආගම අදහන්නට සිටිය හොත් ශාස්තෘන් වහන්සේ වැනියකුට මිස අනෙකකුට ආගම ඇදහීමට සිදු නො වන්නේ ය.
වෛද්‍යවරයා නියම කරන බෙහෙත විමසා දැන ගෙන වළඳන්නට සිටීම අනුවණ කමක් වන්නාක් මෙන් ම සෑම දෙනාට ම නො දැකිය හැකි කරුණක් වූ නැවත නැවත උත්පත්තිය විමසා, තමන් දුටු විටෙක පිළිගන්නට සිටීම අනුවණ කමෙකි. මෙබඳු ගැඹුරු කරුණු සාමාන්‍ය ජනයා විසින් ශාස්තෘවරයා කෙරෙහි විශ්වාසය තබා පිළිගත යුතු ය. ආගමෙහි ශ්‍රද්ධාව උතුම් ධර්මයක් කොට උගන්වන්නේ ද හැම දෙනාට ම හැම දෙය ම නො දැකිය හැකි හෙයිනි. හැම දෙනාට ම හැම දෙය ම දැකිය හැකි නම් ශ්‍රද්ධාවෙන් ඇති වැඩෙක් ද නැත. තමනට නො පෙනෙතත් සත්‍ය වශයෙන් නැවත ඉපදීමක් ඇති බව බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගෙන සැම දෙනා විසින් ම පිළිගෙන තම තමන්ගේ දෙලෝ වැඩ සාදා ගත යුතු ය.
කවර ආකාරයකින් හෝ දැන නැවත ඉපදීමක් ඇති බව පිළිගන්නවුන්ට ද එය සිදු වන ආකාරය නිවැරදිව දැන ගැනීමට අතිශයින් දුෂ්කර ය. එබැවින් ඔවුන් ගෙන් ඇතැමෙක් ප්‍රාණය නම් වූ දෙයක් ඇති සැටියට සිතින් සලකා ගෙන එය එක් ශරීරයකින් අනෙක් ශරීරයකට යාමෙන් නැවත උත්පත්තිය සිදු වෙතැ යි ගත්හ. ඇතැමෙක් ආත්ම නම් වූ දෙයක් සිතින් මවාගෙන එය එක් ශරීරයකින් අනෙක් ශරීරයකට යාමෙන් නැවත ඉපදීම සිදු වෙතැයි ගත්හ. ඇතැමෙක් නිත්‍යව පවත්නා විඥානයක් සිතින් ඇති කර ගෙන එය එක් ශරීරයකින් තවත් ශරීරයකට යාමෙන් නැවත නැවත ඉපදීම වෙතැ යි ගත්හ. මේ ශරීරයෙහි දෙවන භවයකට යන යම්කිසිවක් ඇතය යි ගැනීම ශාශ්වත දෘෂ්ටිය ය. මතු ඉපදීමක් නැතය යි ගැනීම උච්ඡේද දෘෂ්ටිය ය. ශාශ්වත දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය සේ අනර්ත්ථදායක නොවේ. එය තිබීමෙන් මරණින් මතු සුගතියට යාමට බාධාවක් නො වේ. තථාගතයන් වහන්සේ විසින් දක්වන ක්‍රමය ඒ දෘෂ්ටි දෙකින් එකකට වත් හසු නොවන ක්‍රමයකි. ඒ බැවින් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“සබ්බමත්ථිති ඛෝ කච්චාන! අයමේකෝ අන්තෝ, සබ්බං නත්ථිති අයං දුතියෝ අන්තෝ, ඒතේ ඛෝ කච්චාන! උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣෙන තථාගතෝ ධම්මං දේසේති”
“කච්චානය! සියල්ල ඇතය යන ශාශ්වත දෘෂ්ටිය එක් අන්තයෙක, සියල්ල නැත ය යන උච්ඡේද දෘෂ්ටිය දෙවන අන්තය ය. කච්චානය! ඒ අන්ත දෙකට නො ගොස් තථාගත තෙමේ මධ්‍යයෙන් ධර්මය දේශනා කෙරේය” යනු එහි තේරුමයි. තථාගතයන් වහන්සේ විසින් දේශිත ක්‍රමයේ සැටියට වර්තමාන සත්ත්වයාගෙන් කිසිම කොටසක් අනාගත භවයට නො යන්නේ ය. එහෙත් නැවත ඉපදීම සිදුවන්නේ ය. වර්තමාන භවයෙන් කිසිවක් නො ගොස් සිදුවන්නා වූ ඒ ඉපදීම පහසුවෙන් ම තේරුම් ගත හැකි කරුණක් නොවේ. එය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය. තේරුම් ගත් කල්හි හෙතෙමේ හොඳම බෞද්ධයෙක් වන්නේ ය. අපගේ ශක්තියේ සැටියට මෙහි එය පිළිබඳ විස්තරයක් කරනු ලැබේ.
සිත ය, කය ය කියා සත්ත්වයකුගේ කොටස් දෙකකි. එයින් සිත, කය ඇසුරු කොට කයෙහි පිහිටා පවත්නකි. කය, සිත නිසා සිතට අනුව පවත්නකි. ඒ දෙකින් සිත යම් කිසි වස්තුවක් නොව ක්‍රියාවකි. එබැවින් සෑම සිතක් ම ඇසිපිය හෙලන්නට ගතවන කාලය පමණ වත් නො පැවතී උපන් සැටියේ ම බිඳෙන්නේ ය. බිඳීමය යි කියනුයේ එහි නැති වී යාමට ය. උපන්නා වූ සිත බිඳෙනු සමග ම “ගලා බස්නා ගංගාවක එක තැනක ජලය පහළට බසිනු සමඟ ම සිස් බවක් - අතරක් නො පෙනෙන ලෙස එ තැනට උඩිත් තුබූ ජලය පැමිණෙන්නාක් මෙන්” එ තැනට අලුත් සිතක් පහළ වේ. මෙසේ එකක් බිඳෙනු සමග ම පරතරයක් හෙවත් සිස් කාලයක් නො පෙනෙන ලෙස නැවත සිතක් පහළවීම සිතෙහි ඇති එක්තරා සෘද්ධි විශේෂයකි. එබැවින් සිත් පරම්පරාව දීර්ඝ වූ වැලක් සේ නො සිඳී නිවනට පැමිණෙන තුරු පවතී.
එක් සිතක් නිරුද්ධ වූ පසු එකවර සිත් කීපයක් ඇතිවී අතු බෙදී යන ස්වභාවයක් ද එහි නැත. එබැවින් එක් සත්ත්වයෙක් එක් සත්ත්වයෙක් ලෙස ම සිටිනු මිස කිසි කලෙක බෙදී දෙදෙනෙක් නො වන්නේ ය. නැවත නැවත ජාතියෙන් ජාතිය උපදනා සත්ත්වයා ගේ ශරීරවල එකිනෙකට සම්බන්ධයක් නැත. සිත් පරම්පරාව පමණක් එකක් වේ. මිනිසකු මැරී දෙව්ලොව උපන් කල්හි දෙව්ලොව උපන්නේ ඒ මිනිසා ය කියනුයේ, දැන් ඒ දෙවියා ගේ ශරීරය ඇසුරු කොට පවත්නේ මිනිසා ගේ ශරීරයෙහි පැවති චිත්ත පරම්පරාව ම නිසා ය.
වර්තමාන ශරීරයෙන් කිසිවක් අනාගත භවයට නො පැමිණ ඉපදීමේ ක්‍රමය මෙසේය. සත්ත්ව ශරීරයේ හෘදය කෝෂය ඇතුළත පවත්නා ලෙය ඇසුරු කොට පවත්නා වූ විඥාන ධාතුවට ආධාරස්ථානය වන එක්තරා ධාතු කොටසක් ඇත්තේ ය. එයට අභිධර්ම ප්‍රකරණවල වස්තුරූපය යන නම හා හෘදයවස්තුව යන නම ද ව්‍යවහාර කොට තිබේ. ඒ වස්තුරූපය විඥාන ධාතුව සේ ම බිඳි බිඳී නැවත නැවත උපදමින් පරම්පරා වශයෙන් පවත්නකි. හෘදය කෝෂය තුළ නිතර පවත්නා ලෙයක් නැත. නිතර ම එක් තැනකින් ලෙය එයට ඇතුළු ව තවත් තැනකින් බැහැර ව යන්නේ ය. එහෙත් හෘදය රූපය යි කියන ලද ධාතු විශේෂය හෘදය කෝෂයෙහි වූ ලෙය සමඟ ම පවතිනවා මිස ඉන් බැහැර වන ලෙය හා එක් වී පිට වී නොයයි. එබැවින් වස්තුරූපය හෘදය කෝෂය තුළ ම පවත්නේ ය යි කියනු ලැබේ. සත්ත්වයා ගේ සිත් පරම්පරාව පවත්නේ ඒ වස්තුරූපයෙහි ය.
හෘදය කෝෂය වනාහි පරණ ලෙය බැහැර කරනු පිණිස හා අලුත් ලේ ගැනීම පිණිස ද නිතර ක්‍රියා කරන්නේ ය. යම් කිසි හේතුවකින් හෘදය වස්තුව ක්‍රියා විරහිත වුව හොත් එහි ලෙය විකෘතියට පැමිණේ. ඉන් පසු ඒ ලෙයෙහි විඥාන ධාතුවට නිඃශ්‍රය වන හෘදය රූප නම් වූ ධාතු කොටසට නො පැවතිය හැකි වේ. එය අනුක්‍රමයෙන් හීන වී ගොස් අන්තිමට කිසිවක් ඉතිරි නොවී අභාවප්‍රාප්ත වේ. ඉන් පසු ශරීරයේ සිත් ඉපදීමට සුදුසු තැනක් නැති වේ. ඒ ශරීරයෙහි උපදනා අන්තිම සිත නිරුද්ධ වූ කල්හි සත්ත්වයා මළේ ය යි කියනු ලැබේ. හෘදය ක්‍රියා කිරීම නැවතී කොපමණ වේලාවකින් අන්තිම සිතේ නිරෝධය වූ මේ මරණය සිදුවේ ද යන්න නිශ්චය වශයෙන් නො කිය හැකිය. එහෙත් එයට වැඩි කලක් ගත නො වන බව කිය හැකි ය.
හෘදය රූපය ඇසට නො පෙනෙන සියුම් ධාතු විශේෂයකි. එහි ඇති නැති බව නිසා ලෙයෙහි අමුත්තක් ද නො පෙනේ. විඥානයට නිඃශ්‍රය වන දෙයක් මේ ශරීරයෙහි නැති වුව ද, විඥාන පරම්පරාවෙහි එක් විඥානයක් නිරුද්ධවීම සමග ම, අතරක් නො දක්වා තවත් විඥානයක් ඉපදීමේ ශරක්තිය නො නැසුණු බැවින්, එක් ශරීරයක් ඇසුරු කොට උපදනා අන්තිම විඥානය නිරුද්ධ වනු සමග ම, ඒ පරම්පරාවෙහි ඒ විඥානයට අනතුරු ව ඉපදිය යුතු විඥානය කොහි හෝ යම්කිසි අන් තැනක උපදනේ ය. එක් ශරීරයක අන්තිමට නිරුද්ධ වන විඥානයට ච්‍යුති චිත්තය යි ද එයට අනතුරු ව අන් තැනක උපදනා ඒ පරම්පරාවට අයත් චිත්තයට ප්‍රතිසන්ධි චිත්තය යි ද කියනු ලැබේ.
සිතක් යම් තැනක උපන හොත් එය එ තැන ම අතුරු දහන් වනු මිස අන් තැනකට නො යේ. මේ ශරීරය ඇසුරු කොට මෙහි පහළ වූ සිත් සියල්ල මෙහි ම නිරුද්ධ ය. ප්‍රතිසන්ධි චිත්තය යි කියනු ලබන අනාගත භවයා ගේ පළමු වන සිත මෙහෙන් නො ගොස් එහි ම පහළ වූවකි. එහෙත් එය මේ භවයේ සිත් පරම්පරාවට ම අයත් ය. සත්ත්වයකු ගේ එක් භවයක සිට අනෙක් භවයකට යාමක් සත්‍ය වශයෙන් නැත ද මේ පරම්පරා සම්බන්ධය නිසා ලෝකව්‍යවහාරයේ සැටියට මේ සත්ත්වයා ම අපායට ගියේය යි ද, දෙව්ලොවට ගියේය යි ද කියනු ලැබේ.
සිත පරම්පරා වශයෙන් නො සිඳී ඇති වන්නේ ය යි කියන ලද නමුත්, සෑම සිතක් ම උපදිනුයේ ඒ ඒ සිත ඇතිවීමට සුදුසු වූ හේතූන්ගෙනි. හේතුවකින් තොර ව ඉබේ ම උපදනා එක සිතකුදු සිත් පරම්පරාවෙහි නැත. ප්‍රතිසන්ධි චිත්තය යි කියනු ලබන භවයක ප්‍රථමයෙන් උපදනා විඤ්ඤාණය, සංස්කාරය යි කියන ලද කුශලාකුශල කර්මයන් අතුරෙන් යම්කිසිවක් නිසා උපදින්නකි. එහි පිළිවෙළ මෙසේ ය.
මරණාසන්න සත්ත්වයා ගේ චිත්තසන්තානයට කර්මය, කර්මනිමිත්තය, ගතිනිමිත්තය යන තුනෙන් එකක් එළඹ සිටින්නේ ය. එහි කර්මය යනු මැරෙන්නා වූ සත්ත්වයා විසින් ඒ භවයෙහි කළා වූ ද එයට පෙර භවවල දී කළා වූ ද කුශලාකුශල කර්මයෝ ය. මරණාසන්න සත්ත්වයා හට තමා කරන ලද කුශලාකුශල කර්මයන් අතුරෙන් යම්කිසිවක් ඒ අවස්ථාවේ දී සිහි වේ. එය කර්මය එළඹ සිටීම ය.
කර්මනිමිත්තය යනු කර්මය සිදු කිරීමට උපකරණ වූ වස්තූන් හා පුද්ගලයෝ ය. සමහර විට මරණාසන්න සත්ත්වයා ගේ සිතට කර්මය එළඹ නො සිට කර්මනිමිත්ත එළඹ සිටින්නේ ය. ප්‍රාණඝාතය කළවුන්ට මරනු ලැබූ සත්තු හෝ ඔවුන් ගේ මස් හෝ ප්‍රාණඝාතයට වුවමනා උපකරණ හෝ එයට සහාය වූ පුද්ගලයෝ හෝ පෙනෙත්. දන්දුන් තැනැත්තා හට ආහාරපානාදි දාන වස්තු හෝ ප්‍රතිග්‍රාහකයෝ හෝ සහාය වූ පුද්ගලයෝ හෝ පෙනෙත්. වන්දනා කළ තැනැත්තා හට, විහාර චෛත්‍ය-මල්-පහන් ආදි වස්තු පෙනෙන්නේ ය. ඒවා තමා ගේ සමීපයේ ම තිබීනම් කර්ම නිමිත්ත වශයෙන් ඇසට ම පෙනෙන්නේ ය. පුරාණ කර්මයන් ගේ නිමිති සිහින පෙනෙන්නාක් මෙන් සිතට ම පෙනෙන්නේ ය.
ගතිනිමිත්තය යනු කර්මය හේතු කොට මතු උපදින ස්ථානයේ ඇති දෙයකි. සමහර කෙනකුට මරණාසන්නයේ දී ගතිනිමිත්ත පෙනේනේ ය. නරකයේ උපදනා සත්ත්වයනට ගිනිජාලා යමපල්ලු ආදි භයංකර දේ ගතිනිමිත්ත වශයෙන් දර්ශනය වේ. ප්‍රේත ව උපදිනුවන්ට ප්‍රේතයන් ගේ වාසස්ථානාදිය දර්ශනය වේ. මවු කුසයක උපදිනුවන්ට රතුරෙද්දක් සේ ඒ මවු කුසයම දර්ශනය වේ. මේවා දර්ශනය වන්නේ ද සිහින පෙනෙන්නාක් සේ සිතට ය. කලාතුරකින් කෙනකුට ගතිනිමිත්ත ඇසට නො පෙනෙන්නේ නො වේ. මරණාසන්නයෙහි මේ තුන අතුරෙන් එළඹ සිටි දෙයක් අරමුණු කරමින් මැරෙන සත්ත්වයා ගේ චිත්ත සන්තතිය පවත්නේ ය.
මේ අවස්ථාවේ අනුශය වශයෙන් පවත්නා වූ අවිද්‍යාව නිසා සත්ත්වයා හට යා යුතු භවයේ ආදීනවය වැසේ. අනුශය වශයෙන් පවත්නා තෘෂ්ණාව නිසා චිත්තසන්තතිය කර්මයට අනුරූප පරිදි පැමිණිය යුතු අභිනව භවය දෙසට බර වේ, හෙවත් නැමේ. මෙසේ මැරෙන සත්ත්වයාගේ චිත්තසන්තතිය (සිත්පෙළ) අභිනව භවයට නැමී බර වී පවත්නා කල්හි, වර්තමාන ශරීරය ඇසුරු කොට උපදනා අවසාන සිත ඉපද නිරුද්ධ වූ පසු ඒ සිත් වැලෙහි එයට අනතුරුව ඉපදිය යුතු සිත, එළඹ සිටියා වූ කර්මාදි ආරම්මණය ම අරමුණු කොට කර්මානුරූප පරිදි ඉපදිය යුතු ස්ථානයේ ඒ කර්මය ම විපාකත්වයට පැමිණීම් වශයෙන් උපදනේ ය. ඒ සිත උපන් පසු සත්ත්වයා අභිනව භවයට පැමිණියේ ය යි කියනු ලැබේ.
සත්ත්වයා ගේ සිත් වැලෙහි අතීත භවයට අයත් ශරීරයේ අවසාන වශයෙන් පහළ වූ සිතට ච්‍යුතිචිත්තය යි ද, අභිනව භවයේ ආදියෙහි ම පහළ වූ සිතට ප්‍රතිසන්ධිචිත්තය යි ද කියනු ලැබේ. ප්‍රතිසන්ධිචිත්තය පහළවීම සමග ම හෝ පහළවීමෙන් පසු ක්‍රමයෙන් හෝ කර්මයට හා ඒ ඒ සත්ත්වජාතියට ද අනුරූප වන පරිදි ශරීරයක් ද ඇති වේ. ඒ ශරීරය අතීත ජාතියේ ශරීරය හා සම්බන්ධයක් නැත. සිත පමණක් අතීත ජාතියේ සිත් පරම්පරාවට සම්බන්ධය. ප්‍රතිසන්ධි චිත්තය යි කියන ලද භවයෙහි ප්‍රථමයෙන් පහළවන්නා වූ සිත අන් සිතක් නැති සෑම අවස්ථාවේ ම නැවත නැවත ඉපදීම් වශයෙන් ඒ භවය මුළුල්ලෙහි ම පවත්නේ ය. චිත්ත පරම්පරාව නො සිඳී පැවැත්මට එය හේතු වේ. එබැවින් නැවත නැවතත් පහළ වන්නා වූ ඒ සිතට භවංග චිත්තය යි කියනු ලැබේ. සත්ත්වයාගේ ප්‍රකෘති සිත එය ය. ඒ සිත ඇති බව දැනගැනීම නම් අපහසු ය.
ශරීරය පහළ වී චක්ෂුරාදි ඉන්ද්‍රියයන් හා රූපාදීන් ගැටුණු කල්හි කුශලාකුශල සංඛ්‍යාත සංස්කාර හේතුවෙන් චක්ෂුර්විඥානාදි විඥානයෝ පහළ වෙති. කුශලාකුශල සංඛ්‍යාත සංස්කාරය නැතහොත් සත්ත්වයාගේ චිත්ත පරම්පරාව මරණයෙන් සිඳෙනු මිස අනාගත භවයට නො පැමිණෙන්නේ ය. එබැවින් කර්මයෙන් සත්ත්වයා ඒ ඒ ජාතිවලට පමුණුවනු ලැබේය යි කියනු ලැබේ. කර්මය ඇත ද අවිද්‍යා තෘෂ්ණා දෙක නැතහොත් ඒ කර්මය සත්ත්වයා ඒ ඒ භවයන්ට යැවීමට සමත් නො වේ. අවිද්‍යා තෘෂ්ණාවෝ ද කර්මය නැති කල්හි සත්ත්වයා ඒ ඒ භවයට පැමිණවීමට අපොහොසත් වෙති. එබැවින් කර්ම ඇතත් අවිද්‍යා තෘෂ්ණාවන් ප්‍රහාණය කළ රහත්හු නැවත නූපදිති.
නැවත නැවත උත්පත්තියට අවිද්‍යා - තෘෂ්ණා - කර්ම යන තුන ම බලවත් හේතු ය. එයිනුදු තෘෂ්ණා කර්ම දෙක වඩාත් ප්‍රධාන ය. විඥානයට තෘෂ්ණාව බලවත් හේතුවක් වතුදු, හේතුඵල පරම්පරා ක්‍රමයක් දක්වන මේ ප්‍රතීත්‍ය සමුත්පාද දේශනයෙහි තෘෂ්ණාවේ විඥාන හේතුත්වය දක්වන්නට ගිය හොත් දේශනා ක්‍රමය අවුල් වන බැවින් මෙහි විඥාන හේතුත්වයෙන් තෘෂ්ණාව නො ගන්නා ලදී. මේ එක් දේශනා ක්‍රමයකි. ආර්‍ය්‍යසත්‍ය දේශනාවෙහි වනාහි සත්ත්වයා ගේ නැවත නැවත ඉපදීමේ හේතුව වශයෙන් දක්වා තිබෙන්නේ කර්මය නොව තෘෂ්ණාව ය. ඒ එක දේශනා ක්‍රමයකි. ක්‍රම දෙක අවුල් කර නො ගෙන වෙන් වෙන් වූ ක්‍රම දෙකක් සැටියට සලකා ගත යුතු ය.
මිනිසෙක් මැරී දෙවියෙක් ව උපන්නේය යි කියන කල්හි මනුෂ්‍ය ශරීරයෙන් කිසිවක් නො ගොස් දෙව්ලොව උපන් දෙවියා ඒ මිනිසාම ද? නැතහොත් අනෙකෙක් ද? යන මෙහිදී නැගිය හැකි ප්‍රශ්නයකි. මිනිසා ගේ ශරීරයෙන් පැමිණි කිසිවක් ඒ දෙවියා ගේ සන්තානයෙහි නැති බැවින් දෙවියා මිනිසා ද නො වේ. දෙවියා ගේ ශරීරය ඇසුරු කරමින් පවත්නේ මිනිසා ගේ ශරීරය ඇසුරු කරමින් පෙර පැවති සිත් පරම්පරාව ම බැවින් දෙවියා ඒ මිනිසාගෙන් අනෙකෙක් ද නොවේ.
සත්‍ය වශයෙන් ලැබෙන සත්ත්වයාය කියා දෙයක් නැත. එය නාමරූප පරම්පරාවන්ට ම ව්‍යවහාර කරන නමකි. මනුෂ්‍යයකු ගේ සන්තානයෙහි ඉපදීමේ පටන් මරණය දක්වා නො නැසී පවත්නා කිසිම දෙයක් නැත. ඇත්තේ චිත්ත චෛතසික පරම්පරාවක් හා රූප පරම්පරාවෙකි. ඒ පරම්පරාව පරම්පරාවක් බව නො පෙනෙන නිසා සිතින් එකක් කොට වරදවා ගෙන කලක් ජීවත් වන මනුෂ්‍යයෙක් හෙවත් සත්ත්වයෙක් ඇතය යි සලකනු ලැබේ. චිත්ත චෛතසික පරම්පරාව හා රූප පරම්පරාවක් මිස සත්ත්වයෙක් කියා කලක් පවත්නා දෙයක් නැති බව තේරුම් ගතහොත් මේ සත්ත්වයා ම ජාතියෙන් ජාතියට යන්නේ ද? නො යන්නේ ද? වර්තමාන භවයෙන් කිසිවක් නො ගොස් අනාගත භවයෙහි අලුතෙන් ම උපන් සත්ත්වයා අතීත ජාතියේ විසූ සත්ත්වයා ද? අනෙකෙක් ද? යන මේ ප්‍රශ්න ලෙහෙසියෙන් ම විසඳෙන්නේ ය. මෙය පිළිබඳව අවුල ඇති වන්නේ සත්‍ය වශයෙන් නැති සත්ත්වයකු මේ නාමරූප පරම්පරාවට ආරූඪ කරගෙන එයට අනුව සිතීම නිසා ය.
එක් මිනිස් ජීවිතයක අවස්ථා බොහෝ ගණනක් ඇත්තේ ය. එයින් ළදරු අවස්ථාවය, තරුණ අවස්ථාවය, මහලු අවස්ථාවය යන තුන ප්‍රධාන අවස්ථාවෝ ය. ළදරුවකු තරුණයකු වූ කල්හි තරුණයාට ඇත්තේ ළදරු ශරීරයට වඩා සර්වප්‍රකාරයෙන් වෙනස් වූ ශරීරයකි. දැන් ඔහුට ළදරු ශරීරයක් නැත. ඔහුගේ සිතුම් පැතුම් ඕනෑ එපා කම් ළදරු සිතුම් පැතුම් ඕනෑ එපාකම් වලට සර්වප්‍රකාරයෙන් වෙනස් ය. ඔහුට දැන් ළදරු සිතුම් පැතුම් ඕනෑ එපාකම් ඇත්තේ ම නැත. වයස අවුරුදු අසූවක් අනූවක් වී තරුණයා මහලු වූ කල්හි ඔහුට ඇත්තේ තරුණ ශරීරයට සර්වප්‍රකාරයෙන් වෙනස් ශරීරයකි. ඔහුට ඇත්තේ ළදරුවාගේ ද තරුණයාගේ ද සිතුම් පැතුම් ඕනෑ එපාකම් වලට සර්වප්‍රකාරයෙන් වෙනස් වූ සිතුම් පැතුම් ඕනෑ එපාකම් ය.
ශරීරයෙන් හා සිතුම් පැතුම්වලින් ඔවුනොවුන්ට සර්වප්‍රකාරයෙන් වෙනස් වූ බාලයාය - තරුණයාය - මහල්ලාය යන මේ තිදෙනා එක්කෙනෙකැ යි කියත හොත් ළදරුවාට ම තරුණයාය යි ද, මහල්ලාය යි ද, කියන්නට වීමෙන් මහ අවුලක් ද වනු ඇත. ළදරුවාය තරුණයාය මහල්ලාය යන තිදෙනා එක් කෙනකු නොව තිදෙනෙකැ යි කියතහොත් ළදරුවා ගේ අයිතිවාසිකම් හා නෑකම් තරුණයාට අහිමි වන්නේ ය. තරුණයා ගේ අයිතිවාසිකම් නෑකම් මහල්ලාට අහිමි වන්නේ ය. එයින් ද වන්නේ මහ අවුලකි.
බාලයා ගේ ශරීරයේ රූපකලාප (කුඩා කොටස්) නැති වෙවී ඒවා වෙනුවට මඳක් මේරූ රූප පහළ වන්නේ ය. ඒවා ද නැති වී, ඒවාට වඩා මඳක් මේරූ රූප පහළ වන්නේ ය. මෙසේ වාර බොහෝ ගණනක් වූ පසු බාලයා තරුණයෙක් වෙයි. බාල කල පැවති රූපයන් ගෙන් අල්පමාත්‍රයකුදු තරුණ ශරීරයේ නැත. සිතුම් පැතුම් නැති බව ගැන කියනු ම කිම? බාලයා ගේ බාල ශරීරය තිබිය දී නම් ඔහුට කිසි කලෙක තරුණයකු නො විය හැකි ය. තරුණ ශරීරය පසු කලකදී ඇති වූවක් බැවින් ද බාලයා ගේ ශරීරයෙන් කිසිවක් ඉතිරි ව තරුණ ශරීරයට එකතු වී නැති බැවින් ද, තරුණයා බාලයා ගෙන් අනෙකෙකැ යි ද, තරුණ ශරීරයේ රූප බාල ශරීරයේ රූපයන් ගෙන් පරම්පරාවට අයත් වන බැවින් තරුණයා බාලයාගෙන් අනෙකෙක් නො වේ ය යි ද කිය යුතු ය. මෙසේ ගත් කල්හි බාලයා හා තරුණයා ඒකත්වයෙන් ගැනීමෙන් වන අවුල ද නො වන්නේ ය. අනේකත්වයෙන් ගැනීමෙන් වන අවුල ද නො වන්නේ ය.
එසේ ම මිනිසා දෙවියකු වූ කල්හි මිනිසා ගේ සිරුරෙන් දෙව් ලොවට ගිය දෙයක් දෙවියා කෙරෙහි නැති දෙයක් දෙවියා මිනිසා ගෙන් අනෙකෙකැයි ද, දෙවියා ඇති වූයේ මිනිසා ගේ සිත් පරම්පරාවෙන් බැවින් ඔහු මිනිසා ගෙන් අනෙකෙක් නොවේ ය යි ද ගත් කල්හි කිසිදු අවුලක් නො වන්නේ ය. බාලයා ගේ අයිතිකම් නෑකම් තරුණයාට හිමි වන්නාක් මෙන් ද, තරුණයාගේ අයිතිකම් නෑකම් මහල්ලාට හිමි වන්නාක් මෙන් ද, මිනිසා ගේ පින් පව් දෙවියාට හිමි වන්නේ ය. අනෙකකු ගේ පින් පව් වල ඵලය අනෙකකුට වන්නේ ය යන්නක් කිය යුතු නො වන්නේ ය.
“තත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමරූපං? අත්ථි නාමං, අත්ථි රූපං, තත්ථ කතමං නාමං? වේදනාක්ඛන්ධෝ, සඤ්ඤාක්ඛන්ධෝ, සංඛාරක්ඛන්ධෝ ඉදං වුච්චති නාමං, තත්ථ කතමං රූපං? චත්තාරෝ ච මහාභූතා චතුන්නඤ්ච මහා භූතානං උපාදාය රූපං, ඉදං වුච්චති රූපං, ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාම රූපං.”
යන විභංග පාඨයෙන් වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය යන මේ ස්කන්ධ තුන නාමය යි ද, සතර මහා භූතයන් හා ඒවා නිසා පවත්නා රූප ද යන මෙය රූපය යි ද, මේ නාමය හා රූපය විඥාන හේතුවෙන් හටගන්නා නාමරූපය යි ද දැක්විණ.
එක් සත්ත්වයකුට නාමකාය ය, රූපකාය ය යි දෙ කයක් ඇත්තේ ය. සත්ත්වයා අයත් චිත්ත චෛතසික පරම්පරාවට නාමකාය යයි කියනු ලැබේ. ඇසට පෙනෙන්නට තිබෙන ශරීරයට රූපකාය ය යි කියනු ලැබේ. චිත්ත චෛතසික පරම්පරාවට නාම ය යි කියනුයේ ශරීරය සේ ඇසින් බලා හෝ අතින් අල්ලා හෝ දත හැක්කක් නොව, නම අසා නමට අනුව ම දත යුතු බැවිනි. නාමය ස්කන්ධ වශයෙන් වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥාන ස්කන්ධය යි සතරක් වේ. විඥානස්කන්ධය හැර ඉතිරි ස්කන්ධ තුන විඥානය නිසා හටගන්නා නාමය යි. රූපය භූතරූපය උපාදායරූපය යි දෙ වැදෑරුම් වේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ප්‍රධාන රූප සතර භූත රූප නම් වේ. ඒ රූප සතර නිසා පවත්නා වූ වර්ණ ගන්ධ රසාදි අප්‍රධාන රූප සූවිස්ස උපාදාය රූප නම් වේ. රූප සියල්ල ම අට විස්සකි.
රූප කය පාලනය කරනු ලබන්නේ නාම කයිනි. නාම කය නැති වුව හොත් රූප කයෙන් වැඩෙක් නැත. එය වළලා දැමිය යුත්තක් වේ. එ බැවින් දෙකයින් නාම කය ප්‍රධාන වේ. නාම කයට අයත් ස්කන්ධ සතරෙන් ද විඥානස්කන්ධය ප්‍රධාන වේ. වේදනාදි චෛතසික ස්කන්ධ තුන විඤ්ඤාණ ස්කන්ධය නිසා පවත්නා බැවින් අප්‍රධාන ය. අඳුරු තැනෙක පහනක් දැල්වූ කල්හි ගින්න පහළ වනු සමග ම ගින්න නිසා අවට උණුසුමක් හා ආලෝකයක් ද පහළ වන්නාක් මෙන් අතීත කර්ම හේතුවෙන් විඥාන සංඛ්‍යාත ප්‍රධාන ධර්මය පහළ වන කල්හි එය හා බැඳී චෛතසික සංඛ්‍යාත නාමයෝ ද පහළ වෙති. ඒ නාමයන් නිසා විඥානය විසිතුරු වේ. අරූප ලෝකය හැර අන් තැන්වල ඒ ඒ භවයට අනුරූප වන පරිදි විඥානයා ගේ පිහිටීමට හා පැවැත්මට ද වර්ධනයට ද උපකාරවන රූපයෝ ද ඒ විඥානය නිසා පහළ වෙති.
චක්ෂුර්විඥානාදීන් ගේ වශයෙන් සවැදෑරුම් වූ විඥානය පහළ වී පරම්පරා වශයෙන් වැඩෙන කල්හි, ගසක් වැඩෙන කල්හි එයට අනුව පෙර නො තුබූ බොහෝ අතු රිකිලි කොළ මල් අලුතෙන් ඇති වන්නාක් මෙන් සිතට අනුව එය හා බැඳී බොහෝ චෛතසික ධර්මයෝ පහළ වෙති. යම්කිසි වස්තුවක් හෝ පුද්ගලයකු දැකීම චක්ෂුර්විඥානය ඉපදීම ය. දක්නා ලද්ද සුන්දර දෙයක් නම් දුටු තැනැත්තා හට එයින් ආස්වාදයක් ඇති වේ. සතුටක් ද ඇති වේ. එය ම හෝ එබඳු අනෙකක් ලබා ගැනීමේ ආශාව ඇති වේ. නැවත නැවත දැකීමේ ආශාව ඇති වේ. සමහර විට එය අනුන් අයිති දෙයක් වී නම් තමාට අයිති කර ගැනීමේ ආශාව ඇති වේ. එය අනුන්ට අයිති ව තිබීම නො ඉවසිය හැකි ස්වභාවයක් හෝ ඇති වේ. එනම් ඊර්‍ෂ්‍යාව ය. එය තමා ගේ දෙයක් නම් අනුන්ට අයිති වීමට හෝ අනුන් ප්‍රයෝජන ලබනවාට හෝ නො කැමති බවක් ඇති වේ. එය මාත්සර්‍ය්‍යය යි. සමහර විට ඒ දක්නා ලද්ද නිසා තමා උසස් කොට ගැනීමක් ද ඇති වේ. සමහර විට එය කරණකොට ගෙන අනුන් පහත් කොට හෝ සම කොට ගැනුමක් ද ඇති වේ. සමහර විට මුළාවක් ද ඇති වේ. සමහර විට එබඳු දෑ ලැබීමට ක්‍රියා කිරීම පිළිබඳ වූ ද, ලැබූ දෑ ආරක්‍ෂා කිරීම පිළිබඳ වූ ද වීර්‍ය්‍යයක් ඇති වේ. සමහර විට දක්නා ලද වස්තුවේ තත්ත්වය දක්නා ඥානය ඇති වේ. දක්නා ලද්ද නො මනා දෙයක් වී නම් එය පිළිබඳ ව නො සතුටක් ඇති වේ. සමහර විට පිළිකුලක් හෝ බියක් ඇති වේ. සත්ත්වයන් පුද්ගලයන් දක්නා කල්හි දක්නා ලද තැනැත්තා ප්‍රියංකර වූ පුද්ගලයකු වී නම් එකල්හි සතුට ඇති වේ. ආදරයක් ද ඇති වේ. සමහර විට රාගය ඇති වේ. සමහර විට ශ්‍රද්ධාව ද කරුණාව ද මෛත්‍රිය ද ප්‍රඥාව ද වීර්‍ය්‍ය ද ඇති වේ. දක්නා ලද තැනැත්තා සතුරකු වී නම් ක්‍රෝධය හෝ බිය හෝ ඇති වේ. අශෝභන පුද්ගලයකු වී නම් පිළිකුලක් ඇති වේ. මෙසේ චක්ෂුර්විඥානය ඇති වූ කල්හි එය නිසා බොහෝ චෛතසික ධර්මයෝ උපදිති. ශ්‍රෝත විඥානාදි පස නිසා ද මෙසේ බොහෝ චෛතසික ධර්මයන් උපදනා සැටි කියන ලද්දට අනුව සලකා ගත යුතු ය. මේ විඥානය නිසා නානාප්‍රකාර නාමයන් උපදනා ආකාරය යි.
විඥානය නිසා රූපයන් උපදනා පරිදි මෙසේ දත යුතු ය. අණ්ඩජ ය, ජලාබුජ ය, සංසේදජ ය, ඕපපාතික ය යි සත්ත්ව ජාති සතරෙකි. පක්‍ෂි සර්ප මත්ස්‍යාදි බිජුවටින් උපදනා සත්ත්වයෝ අණ්ඩජ සත්ත්වයෝ ය. මව්කුස වැදෑමස ය යි කියන සම් කොපුවෙහි උපදනා මනුෂ්‍ය ගව මහිෂාදි සත්ත්වයෝ ජලාබුජ සත්ත්වයෝ ය. කුණුමස් කුණුමාලු ආදි ඇතැම් ද්‍රව්‍යයන්හි උපදනා සත්ත්වයෝ සංසේදජ සත්ත්වයෝ ය. කැටපත් ආදියෙහි පහළවන ඡායාවන් මෙන් සර්වාංග ප්‍රත්‍යංග පරිපූර්ණත්වයෙන් පහළ වීම් වශයෙන් උපදනා සත්ත්වයෝ ඕපපාතිකයෝ ය. නරකයෙහි ද නිජ්ඣාමතණ්හික නම් වූ ප්‍රේතයෝනියෙහි ද දිව්‍යබ්‍රහ්ම ලෝකවල ද උපදින්නෝ ඕපපාතික වශයෙන් ම උපදිති. රූපයන් ගේ පහළවීම වනුයේ ඒ ඒ සත්ත්ව යෝනිවල නොයෙක් ආකාරයෙනි.
රූපයන් උපදිනුයේ ද සමූහ වශයෙනි. සමූහයකට සම්බන්ධ නොවී තනි ව රූපයකට නො ඉපදිය හැකි ය. එක් ව උපදින රූප සමූහයන්ට රූප කලාප ය යි කියනු ලැබේ. පඨවිරූපය, ආපෝරූපය, තේජෝරූපය, වායෝරූපය, වර්ණරූපය, ගන්ධරූපය, රසරූපය, ඕජාරූපය යන මේ අට එකිනෙක ගැටී සම්බන්ධ වී එක් පිණ්ඩයක් වී උපදී. ඒ පිණ්ඩයට ශුද්ධාෂ්ටක කලාපය යි කියනු ලැබේ. ඒ රූප අට සියලු ම කලාපයන්හි ඇත්තේ ය. ඒ අටට ජීවිත රූප චක්ෂුඃප්‍රසාද රූප ශ්‍රෝත්‍රප්‍රසාද රූප ඝ්‍රාණප්‍රසාද රූප ජිහ්වාප්‍රසාද රූප කායප්‍රසාද රූපාදීන් ගෙන් ඇතැම් රූප එක්වීමෙන් රූප නවය දශය එකොළොස දොළොස තෙළෙස බැගින් ඇත්තා වූ කලාපයෝ ද වෙති. තෙළෙසකට අධික රූප ඇති කලාප ද නො ලැබේ. රූපකලාපය ලෝකයේ ඇති ඉතා ම කුඩා දෙය ය. එයට වඩා කුඩා දෙයක් නැත්තේ ය. ලේකයා විසින් ඉතා ම කුඩා දෙය සැටියට සලකන පරමාණුව රූප කලාපයට වඩා බොහෝ මහත් දෙයකි. පරමාණුවක රූප කලාප බොහෝ ගණනක් ඇත්තේ ය. සත්ත්ව ශරීරය හටගන්නේ මේ රූප කලාප වලිනි.
කර්මය, චිත්තය, සෘතුවය, ආහාරය යි රූප හට ගැනීමට හේතු සතරකි. සත්ත්වසන්තානයෙන් පිටත ඇත්තේ සෘතුවෙන් හටගන්නා රූප පමණෙකි. සෘතුව නම් ශීතෝෂ්ණ දෙක ය. සත්ත්ව සන්තානයෙහි වනාහි කර්මාදි හේතු සතරෙන් ම හටගන්නා රූප ඇත්තේ ය. රූප කර්මාදි හේතූන් ගෙන් හට ගන්නවුන් වුවද අතීත කර්ම හේතුවෙන් භවයෙහි ප්‍රතිසන්ධි විඥානය පහළ නුවුව හොත් ඒවා නො හටගන්නා බැවින්, විඥානය හේතු සතරින් ම හට ගන්නා රූපයන්ට විශේෂ හේතුවකි. ‘විඤ්ඤාණ පච්චයා නාම රූපං’ යි වදාළේ එහෙයිනි. විපාක විඥාන හේතුවෙන් අරූප භවයෙහි නාමය පමණක් හටගනී. අසංඥ භවයෙහි විපාක විඥානයක් ද නැත. එහි අතීත කර්ම විඥානය හේතු කොට රූප පමණක් ඇති වේ. ඉතිරි භවවල විඥාන හේතුවෙන් නාම රූප දෙක ම ඇති වේ. ‘විඤ්ඤාණ පච්චයා නාම රූපං’ යනු සර්වසංග්‍රාහික දේශනයකි. එහි අර්ථය කියන ලද පරිදි තුන් ආකාරයෙන් ම ගත යුතු ය.
අතීත කර්ම හේතුවෙන් හටගන්නා වූ ප්‍රතිසන්ධි විඥානය සමග ම අණ්ඩජ ජලාබුජ යෝනි දෙකට අයත් සත්ත්වයන්ට කායදශකය, භාවදශකය, වස්තු දශකය යන රූපකලාප තුන පහළ වේ. එයිනුදු සමහර සත්ත්වයකුට භාවදශකය පහළ නො වේ. භාවදශකය පහළ නො වූවෝ නපුංසකයෝ ය. ඔවුන් ගේ ඉපදීම සිදුවන්නේ කලාතුරකිනි. රූපකලාප දෙකකින් හෝ තුනකින් හෝ යුක්ත වූ විඥානය සහිත වූ ඒ රූප පිණ්ඩයට ‘කලල රූපය’ යි කියනු ලැබේ. කලල රූපයෙහි රූප කලාප දෙකක් හෝ තුනකැයි කියනුයේ ජාති වශයෙනි. එක් එක් ජාතියකට අයිති කලාප බොහෝ ගණනක් එහි ඇත්තේ ය. මඳක් මෝරන කල්හි එයට චිත්තජ සෘතුජ කලාපයෝ ද එක් වෙති. කලල රූපයෙහි පටන් මනුෂ්‍යයා ගේ වැඩීමේ පිළිවෙළ තථාගතයන් වහන්සේ විසින් යක්‍ෂ සංයුත්තකයෙහි මෙසේ වදාරා තිබේ.
“පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං
අබ්බුදා ජායතේ පෙසි පෙසි නිබ්බත්තතේ ඝනෝ
ඝනා පසාඛා ජායන්ති කේසා ලෝමා නඛා පිච.”
“පළමු කොට මාතෘගර්භයේ කලල රූපය හට ගන්නේ ය. ඒ කලල රූපයෙන් අබ්බදය (පෙණපිඩ) හට ගන්නේ ය. අබ්බුදයෙන් පේශිය හට ගන්නේ ය. පේශියෙන් ඝනය හට ගන්නේ ය. ඝනයෙහි අතු පසක් ද කෙස් ලොම් නිය ද හට ගන්නේ ය” යනු එහි තේරුමයි.
“තිලතේලස්ස යථා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලෝ,
ඒවං වණ්ණ පටිභාගං කලලන්ති පවුච්චති”
“තලතෙල් බින්දුවක් යම් බඳු ද, පිරිසිදු ගිතෙල් බින්දුවක් යම් බඳු ද, එබඳු පැහැය හා සටහන ඇති දෙයකට ‘කලලය’ යි කියනු ලැබේ ය” යනු එහි තේරුම යි. එයින් කලල රූපයාගේ පැහැය හා ආකාරය දක්වන ලදී. තෙල් බිඳක් වැනි වූ ඒ කලල රූපය ප්‍රමාණයෙන් ඉතා කුඩා ය. එහි ප්‍රමාණය සංයුත් අටුවාවෙහි “තීහි ජාති උණ්ණාංසූහි කතසුත්තග්ගේ සණ්ඨිත තේලබින්දු පමාණං” යනුවෙන් හිමාලයෙහි වෙසෙන ඉතා සිහින් ලොම් ඇති ජාතිඋණ්ණා නම් වූ එළුවන්ගේ ලොම් තුනකින් කළ හුයෙහි අගට එන තෙල් බින්දුව පමණයයි දක්වා තිබේ.
විභංග අටුවාවෙහි වනාහි “ජාති උණ්ණා නාම සුඛුමා තස්සා ඒකංසුනෝ පසන්න තිල තේලේ පක්ඛිපිත්වා උද්ධටස්ස පග්ඝරිත්වා අග්ගේ ඨිතබින්දු මත්තං” යනුවෙන් ජාතිඋණ්ණා නම් වූ සිහින් එළු ලෝමයක් පිරිසිදු තලතෙලෙහි ලා ගත් කල්හි එහි අග සිටින තෙල් බින්දුව පමණ ය යි කියා තිබේ.
“සත්තාහං කලලං හෝති පරිපක්කං සමූහකං”
විවට්ටමානං තබ්භාවං අබ්බුදං නාම ජායති.”
“කලලය සතියක් පවතී. එය මෝරා සමූහාකාර වී කලලාකාරය අත් හැර අබ්බුද නම් දෙය වන්නේ ය” යනු එහි තේරුම යි.
“සත්තාහං අබ්බුදං හෝති පරිපක්කං සමූහකං”
විවට්ටමානං තබ්භාවං පේසි නාම ච ජායති”
“සතියක් අබ්බුදය පවතී. එය මෝරා සමූහාකාර වූයේ ඒ ස්වභාවය අත් හරින්නේ පේශි නම් දෙය වන්නේ ය” යනු එහි තේරුම යි.
“සත්තාහං පේසි භවති පරිපක්කං සමූහකං,
විවට්ටමානං තබ්භාවං ඝනොති නාම ජායති.”
“පේශිය සතියක් පවතී. එය මෝරා සමූහාකාර වූයේ ඒ ස්වභාවය හරින්නේ ඝන නම් දෙය වන්නේ ය” යනු එහි තේරුම යි.
“යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං,
ඒවං ඝනස්ස සණ්ඨානං නිබ්බත්තං කම්මපච්චයා.”
“යම් සේ කිකිළියකගේ බිත්තරය හාත්පසින් වට වේ ද, කර්ම හේතුවෙන් උපන්නා වූ ඝනයාගේ සටහන ද එසේ ය” යනු එහි තේරුම යි.
සතර වන සතියෙහි හටගන්නා වූ කුකුළු බිත්තරයක් වැනි වූ ඝනය මේරීමට පැමිණි කල්හි පස් වන සතියෙහි ඒ ඝනයෙහි හිස හටගන්නා තැන එක් බුබුලක් ද, අත් හටගන්නා දෙතැන බුබුළු දෙකක් ද, පා හටගන්නා දෙතැන බුබුළු දෙකක් දැ යි බුබුළු පසක් පහළ වේ. ඒ බුබුළු ක්‍රමයෙන් වැඩී ඇස් කන් ආදිය හා කෙස් ලොම් නිය ද පහළ වේ.
මෙසේ අතීත කර්ම හේතුවෙන් මවුකුස උපන්නා වූ සත්ත්වයා ගේ සන්තානයෙහි ප්‍රතිසන්ධි චිත්තය නිරුද්ධ වන්නට මත්තෙන් ම සෘතුජ රූපයෝ පහළ වෙති. ප්‍රතිසන්ධි චිත්තයට අනතුරුව උපදනා දෙවන සිත ඉපදීමේ පටන් චිත්තජරූපයෝ පහළ වෙති. ආහාරජ රූපයන් පහළ වන අවස්ථාව නියම වශයෙන් දක්වා නැත. මවු කුස වෙසෙන දරුවා ආහාර අනුභවයක් නො කරන්නේ ය. ඔහු යැපෙන්නේ ද මව අනුභව කරන ආහාරයෙනි. එබැවින් යක්ඛසංයුත්තකයෙහි:-
“යං තස්ස භුඤජතේ මාතා අන්නං පානං ච භෝජනං,
තේන සෝ තත්ථ යාපේත් මාතුකුච්ඡිගතෝ නරෝ”
යනු වදාරන ලදී. “ඒ දරුවා ගේ මව යම් ආහාර පාන භෝජනයක් වළඳා ද, මව් කුසයට පැමිණියා වූ සත්ත්ව තෙමේ එයින් යැපේ ය” යනු එහි තේරුමයි. කලලාවස්ථාවෙහි හෝ වේවා අබ්බුදාදි අවස්ථාවක දී හෝ වෙවා මවු වැළඳූ ආහාරස්නෙහය දරුවා ගේ කයට පැමිණෙන්නට පටන් ගත් තැන සිට ඒ ශරීරයෙහි ආහාරජ රූපයෝ ද උපදනාහු ය.
කාම භවයෙහි සම්පූර්ණයෙන් රූප පහළවීම ඇත්තා වූ සංසේදජ සත්ත්වයන්ට ප්‍රතිසන්ධි විඥානය සමග චක්ෂූර් දශකය - ශ්‍රෝත්‍ර දශකය - ඝ්‍රාණ දශකය - ජිහ්වා දශකය - කාය දශකය - භාව දශකය - වස්තු දශකය යන රූප කලාප සතක් විඥානය නිසා පහළ වේ. ප්‍රතිසන්ධියෙන් පසු චිත්තජ සෘතුජාහාරජ රූපයන් ද ඒවාට එකතු වීමෙන් අනුක්‍රමයෙන් ඒ සත්ත්වයා ගේ ශරීරය සම්පූර්ණ වේ. කාමභවයෙහි සම්පූර්ණයෙන් රූප ලැබෙන ඕපපාතික සත්ත්වයන්ට ප්‍රතිසන්ධි චිත්තය සමග චක්ෂුර්දශකය, ශ්‍රෝත්‍රදශකය, ඝ්‍රාණදශකය, ජිහ්වා දශකය, කාය දශකය, භාව දශකය, වස්තු දශකය යන දශක කලාප සත පහළ වේ. ඉන්පසු සෘතුජ ආහාරජ කලාපයෝ එයට එක් වෙති.
රූපලෝකයෙහි බ්‍රහ්මයන්ට ඝ්‍රාණ - ජිහ්වා - කාය භාවදශක කලාපයෝ නො ලැබෙති. ආහාරජ කලාපයෝ ද නො ලැබෙති. විඥානයක් සර්වාකාරයෙන් නො ලැබෙන අසංඥ භවයෙහි, රූපය ම ප්‍රතිසන්ධිය වේ. එහි ප්‍රථමයෙන් උපදනා අවස්ථාවෙහි විඥානයක් නැති බැවින් අතීත වූ කර්ම විඥානය හේතුකොට ජීවිත නවක කලාපයන්ගෙන් ශරීරයක් නිර්මිත වේ. පසු ව ශබ්දය හැර ඉතිරි සෘතුජ රූපයෝ ද එයට එකතු වෙති. මෙසේ ඒ ඒ භවයෙහි පහළවන නාම රූපයන් විඥානය පහළ නොවී නම්, පහළ නොවන බැවින් විඥානය නිසා නාමරූපය පහළ වේ ය යි කියනු ලැබේ.
තත්ථ කතමං නාමරූපපච්චයා සළායතනං? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං ඉදං වුච්චති නාම රූප පච්චයා සළායතනං”
යනුවෙන් විභංගපාළියෙහි චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යන මේ සය නාමරූපයන් නිසා හට ගන්නා වූ ආයතන සය ය යි දක්වන ලදි.
එහි චක්ෂුර්විඥානය යි කියනු ලබන රූප දක්නා සිතට උත්පත්තිස්ථාන වන්නා වූ ඇසෙහි පිහිටි ඔපය චක්ඛායතනය යි. ශ්‍රෝත්‍රවිඥානය යි කියනු ලබන හඬ දැනගන්නා වූ සිතට උත්පත්තිස්ථාන වූ කනෙහි පිහිටි ඔපය සෝතායතනය යි. ඝ්‍රාණවිඥානය යි කියනු ලබන ගඳ දැනගන්නා වූ සිතට උත්පත්තිස්ථානය වූ නාසය තුළ පිහිටි ඔපය ඝාණායතනය යි. ජිහ්වා විඥානය යි කියනු ලබන රස දන්නා වූ සිතට උත්පත්තිස්ථාන වන දිවෙහි පිහිටි ඔපය ජිව්හායතනය යි. කායවිඥානය යි කියනු ලබන තද බැව් සිසිල් බැව් උණුසුම් බැව් ආදිය දන්නා සිතට උත්පත්තිස්ථාන වන ශරීරයේ ඇතුළත පිහිටි දෙක්හි පිහිටි ඔපය කායායතනය යි. චක්ෂුඃප්‍රසාද ශ්‍රෝත්‍රප්‍රසාද ඝ්‍රාණප්‍රසාද ජිහ්වාප්‍රසාද කායප්‍රසාදය යි කියනුයේ ද මේ පසටම ය. රූප ශබ්දාදි හැම අරමුණු ම දැනගන්නා වූ විඥානය මනායතනය යි.
ආයතනය යි කියනු ලබන මේ චක්ෂුරාදීහු රූපාදි අරමුණු ගැනීමට උපකාර වී බොහෝ චිත්ත චෛතසිකයන් ඇති කිරීමෙන් සංසාරය දික් කෙරෙති, එබැවින් ඒවාට ආයතනයෝ ය යි කියනු ලැබේ. නාමරූපයන් නිසා ආයතන සය වේ ය යි කියනුයේ, ඒවා නාමරූපයන් ඇති කල්හි ම උපදනා බැවිනි. නාමරූප නැතහොත් ආයතනයන්ට නො පහළ විය හැකිය.
නාමරූපයන් හේතු කොට කාමලෝකයෙහි ආයතන සය ම පහළ වේ. රූපලෝකයෙහි චක්ඛායතනය සෝතායතනය මනායතනය යන තුන පමණක් පහළ වේ. අරූපලෝකයෙහි මනායතනය පමණක් පහළ වේ. නාම රූප දෙකින් නාමය අරූප භවයෙහි මනායතනය පමණක් හේතු වේ. කාම රූප භව දෙක්හි නාම රූප දෙක ම ෂඩායතනයට හේතු වේ.
ෂඩායතනය අතුරෙන් චක්ෂුරාදි ආයතන පස “විඤ්ඤාණ පච්චයා නාමරූපං” යනුවෙන් විඥාන හේතුවෙන් හටගන්නාහුය යි කියන ලද අටවිසි රූපයන්ගෙන් රූප පසකි. ඒවා වරක් විඥාන හේතුවෙන් හටගන්නා ධර්ම බව කියා නැවත නාමරූප හේතුවෙන් හටගන්නා බව කීම කෙසේ යෙදේද? යන ප්‍රශ්නය මෙහි ඇති වේ. කඳ අතු රිකිලි කොළ මල් යන සියල්ලට ගසය යි කියනු ලැබේ. ඇටයෙන් ගස හටගන්නේ ය යි කී කල්හි ගසට අයත් ඒ සියල්ල ම ඇටයේ ඵල වශයෙන් කියැවේ.
එහෙත් ඇටය නිසා ගස හටගන්නේ ය, ගස නිසා අතු හටගන්නේ ය, අතු නිසා රිකිලි හටගන්නේ ය, රිකිලි නිසා මල් හටගන්නේ ය, මල් නිසා ගෙඩි හටගන්නේය යි කීමද වරදක් නොවේ. ගසේ හටගන්නා ගෙඩිවලට මුලින් රෝපණය කළ ඇටය ද හේතු වේ. පසුව ඒ ඇටය නිසා හටගන්නා වූ අතු හා මල් ද හේතු වේ. එමෙන් විඥානය රූප අට විස්සට ම හේතු වේ. නැවත ඒවා චක්ෂුරාදි ආයතන පසට ද හේතු වේ. එබැවින් නාමරූපයන් හේතු කොට චක්ෂුරාදි ආයතන පස වේය යි කීමේ දෝෂයක් නැත.
ආයතනයන්ගෙන් සය වැන්න වූ මනායතනය නම්, නාම රූපයන් ගේ හේතුව වශයෙන් කියන ලද විඥානයම ය. විඥානය නිසා ඇතිවන නාමරූපය නිසා නැවත විඥානයම ඇති වන බව කීම, මව් නිසා දරුවා ඇති වේය යි කියා නැවත දරුවා නිසා මව ඇති වේය යි කීම වැනි නො ගැළපෙන කියුමක් නොවේ ද? යන ප්‍රශ්නයක් ද මෙහි ඇති වේ. එය ද නො ගැළපෙන කියුමක් නො වේ. එය ගෙඩිය නිසා ගස ඇති වී නැවත ගස නිසා ගෙඩි ඇති වීම සේ තේරුම් ගත යුතු ය. මතු ද මෙ බඳු තැන්වල යෙදෙන සැටි කියන ලද්දට අනුව සලකා ගත යුතු.
වරක් කියන ලද ෂඩායතනය මෙහි නැවතත් ගන්නා ලද්දේ කරුණු දෙකක් නිසා ය. නාමරූපය ඒවාට හේතු වන බව එක් කරුණකි. මතු කිය යුතු ඵස්ස වේදනාදි පටිච්චසමුප්පාදාංගයන්ට විශේෂයෙන් ෂඩායතනය හේතු වන බව එක් කරුණකි.
නාමරූපයන් නිසා ෂඩායතනය හටගන්නා ආකාරය මෙසේ ය. අණ්ඩය ජලාබුජය යි කියන මව්කුස උපදනා සත්ත්වයනට ප්‍රතිසන්ධිය සමග ම කායායතන මනායතන දෙක පහළ වේ. ප්‍රතිසන්ධිය සමග පහළ වූ කුඩා රූප පිණ්ඩය ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී. වැඩීම නිසා කල් යාමෙන් ඇස්, කන්, නාසා, දිව යන මේ අවයවයෝ පහළ වෙති. ඒවා පහළ වූ කල්හි ඒ ඒ තැන්වල චක්ඛායතන සෝතායතන ඝාණායතනය ජිව්හායතන යන ආයතන සතර පහළ වේ. ඒවා ස්ථානය වූ ඇස, කණ, නාසය, දිව යන මේවා පහළ නො වී නම් චක්ඛායතනාදියට පහළ විය හැකි බවක් නැති බැවින්, රූපය ඒ ආයතන සතර ඇතිවීමට හේතුව ය.
කලින් මදුළු හා ඇට නැත්තා වූ කුඩා කොස් ගැටය වැඩීමෙන් එය තුළ කොස් මදුළු කොස් ඇට පහළවීම මෙන් ද, කලින් කටුවය මදය කියා කිසිවක් නැති ඇට්ටිගෙඩිය වැඩීමෙන් පොල්කටුව හා පොල් මද පහළ වීම මෙන් ද, ප්‍රතිසන්ධිය සමග පහළ වූ රූපයන් වැඩීමෙන් චක්ඛාදි ආයතන සතර පහළවීම සලකා ගත යුතුය. ප්‍රතිසන්ධිය සමග කායායතනය ඇති වුව ද රූපයන් වැඩෙන කල්හි ඒ වැඩීම අනුව පසුව ශරීරය පුරා බොහෝ කායායතනයෝ පහළ වෙති. ඒ කායායතනයන් පහළ වනුයේ වැඩෙන්නා වූ රූපයන් නිසා ය. එබැවින් උත්පත්තිය සමග ම කායායාතනයක් පහළ වුව ද රූප නිසා කායායතනය පහළ වේය යි කියන ලදී. සංසේදජ ඕපපාතික සත්ත්වයන්ට වනාහි උත්පත්තිය සමග ම සියලු ම ආයතනයෝ පහළ වෙති. ඉන්පසු නාම රූපයන් නිසා පරම්පරා වශයෙන් ඒවා ජීවත් වන කාලය මුළුල්ලෙහි නැවත නැවත පහළ වේ.
ෂඩායතනයන්ට හේතු භාවයෙන් කියන ලද නාමය නම් දෙපනස් චෛතසිකයෝ ය. චිත්ත චෛතසික දෙකින් සිත ප්‍රධාන වුව ද යම්කිසි චෛතසික ධර්මයක් වරක් අධික වීර්‍ය්‍යයෙන් අධික වේගයෙන් උත්සන්නත්වයෙන් උපන් කල්හි, ඒ චෛතසිකය නිසා ලක්‍ෂ ගණන් සිත් උපදී, සත්ත්වයන්ට හමු වන්නාවූ ඇතැම් අරමුණු නිසා ද, සිදුවන්නා වූ ඇතැම් කරුණු නිසා ද, සමහර විට අධික වීර්‍ය්‍යයෙන් යුක්ත වූ බලවත් වූ ලෝභය ද උපදී. ද්වේෂය ද උපදී, මානය ද උපදී, ඊර්ෂ්‍යාව ද උපදී, මෛත්‍රිය ද උපදී, කරුණාව ද උපදී, ශ්‍රද්ධාව ද උපදී, ප්‍රඥාව ද උපදී, ප්‍රීතිය ද උපදී, තවත් චෛතසිකයෝ ද උපදිති. රාගය යනු ද ලෝභ චෛතසිකයම ය.
පුරුෂයකු විසින් ශෝභන කාන්තාවක් දුටු කල්හි සමහර විට ඒ කාන්තාව සම්බන්ධයෙන් බලවත් රාගයක් ඇති වේ. වරක් බලවත් ව උපන් ඒ රාගය නිසා ඉන්පසු ඒ පුරුෂයා කෙරෙහි දුටු ස්ත්‍රිය සම්බන්ධයෙන් රාග සහගත සිත්, සමහර විට දින ගණනක් මුළුල්ලේ ඇති වේ. සමහරවිට මාස ගණනක්, වර්ෂ ගණනක් මුළුල්ලෙහි ද ඇති වේ. පසුව ඇති වන්නාවූ ඒ සිත් රාග සංඛ්‍යාත නාමය නිසා ඇති වූ මනායතනයෝ ය. යම්කිසි කරුණක් නිසා වරක් බලවත් ව කෝපය ඇති වුවහොත් ඒ නිසා පසුව සමහරවිට මාස ගණනක්, වර්ෂ ගණනක් ගතවන තුරු ද ද්වේෂ සහගත සිත් පහළ වේ. පසුව පහළ වන්නා වූ ඒ ද්වේෂ සහගත චිත්තයෝ උත්සන්න භාවයෙන් ඇති වූ ක්‍රෝධ සංඛ්‍යාත නාමය නිසා පහළ වන්නා වූ මනායතනයෝ ය. යම්කිසි කරුණක් ගැන වරක් ප්‍රීතිය බලවත් ව පහළ වුවහොත්, ඉන්පසු ඒ ප්‍රීතිය නිසා ප්‍රීතියට හේතු වූ දෙය අරමුණු කොට බොහෝ චිත්තයෝ පහළ වෙති. ඒවා ප්‍රීති සංඛ්‍යාත නාමය නිසා උපදනා මනායතනයෝ ය. මෙසේ උත්සන්න භාවයෙන් පහළ වන්නා වූ සෑම චෛතසිකයක් ම නිසා මනායතනය ඇති වන සැටි සලකා ගත යුතුය.
ගෙයක ඇතුලේ වෙසෙන්නවුන් විසින් පිටත බලන්නාවූ ද, පිටත ඇති වස්තූන් හා පුද්ගලයන් ගෙට ඇතුළු කරගන්නාවූ ද, ඇතුළෙහි වූ දෑ බැහැර කරන්නාවූ ද ස්ථානයන්ට ද්වාරය යි කියනු ලැබේ. චක්ෂුරාදි ආයතන සය ද පිටත පිහිටි රූප ශබ්දාදි අරමුණු ගැනීමට උපකාර වන ස්ථාන වූයෙන් ද්වාරයන් වැනි නිසා ඒවාට ද්වාරයයි ද කියනු ලැබේ. ශරීරය ද්වාර සයක් ඇති ගෙයක් වැනි ය. ශරීරය සැරසී තිබෙන්නේ මේ ආයතන ද්වාර සයෙනි. එය වටිනා කමක් ඇති ඇලුම් කළ යුතු දෙයක් වී තිබෙන්නේ ද ආයතන ද්වාර නිසා ය. ආයතන ද්වාර නැති කල්හි ශරීරය ක්‍රියා විරහිත වන්නේ ය. මේ ආයතනයන් එකිනෙකට සම්බන්ධයක් නැති, වෙන් වෙන් වූ ධර්ම කොටසක් සැටියට තේරුම් නො ගෙන, ශරීරය හා එක් කොට එකම දෙයක් වශයෙන් වරදවා ගැනීම නිසා භූතෝපාදාය රූපයන්ගෙන් නිර්මිත වූ මේ ශරීරය මමය - නුඹය - දෙවියා ය - මිනිසා ය කියා ගැනීමෙන් නිවනට යා නො හැකි වන සේ සත්ත්වයන් සසර බැඳ තබන්නා වූ සත්කාය දෘෂ්ටිය ඇති වේ.
චක්ඛායතනය නිසා ‘මම දකිමි’ යි සත්කාය දෘෂ්ටිය ඇති වේ. සෝතායතනය නිසා ‘මම අසමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. ඝාණායතනය නිසා ‘මම ආඝ්‍රාණය කරමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. ජිව්හායතනය නිසා ‘මම රස විඳිමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. කායායතනය නිසා ‘මම සුවදුක් විඳිමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. මනායතනය නිසා ‘මම දනිමි’ යි සත්කාය දෘෂ්ටිය උපදී. ආයතනයන් ආයතන සැටියට දැන ගැනීම අපාය බීජය වූ, සංසාර බීජය වූ සත්කාය දෘෂ්ටිය දුරුකර ගැනීමට උපකාර වේ.
ෂඩායතනය නිසා පහළ වන්නා වූ ඵස්සය විභංග පාළියේ දැක්වෙන්නේ -
“තත්ථ කතමෝ සළායතනපච්චයා ඵස්සෝ? චක්ඛුසම්ඵස්සෝ, සෝතසම්ඵස්සෝ, ඝාණසම්ඵස්සෝ, ජිව්හාසම්ඵස්සෝ, කායසම්ඵස්සෝ, මනෝසම්ඵස්සෝ, අයං වුච්චති සළායතන පච්චයා ඵස්සෝ” යනුවෙනි.
යන සය ෂඩායතනය නිසා පහළ වන ඵස්සය යි එයින් දැක්විණ. ‘නාමරූප පච්චයා සළායතනං’ යනුවෙන් ආයතන සයක් පමණක් දක්වන ලද නමුත් ආයතන දොළොසක් ඇත්තේ ය. එයින් කියන ලද චක්ඛායතනාදි සයට ආධ්‍යාත්මිකායතනය යි කියනු ලැබේ. රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, ඵොට්ඨබ්බායතනය, ධම්මායතනය යි චක්ඛායතනාදියෙහි ගැටෙන ආයතන සයක් ද වේ. ඒවාට බාහිරායතනය යි කියනු ලැබේ. ‘නාමරූප පච්චයා සළායතනං’ යන තන්හි දැක්වෙන ආධ්‍යාත්මිකායතන පමණක් ම ස්පර්ශය ඇති කිරීමෙහි සමත් නො වේ. ස්පර්ශය හටගන්නේ ආධ්‍යාත්මිකායතන බාහිරායතන දෙපක්ෂයේ ම සහයෝගයෙනි. එහෙත් නිදානවග්ගසංයුත්තයෙහි “චක්ඛුං ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සෝ” යි වදාරන ලදී. ඇසත් රූපයත් නිසා චක්ෂුර් විඥානය උපදනේ ය. ඇසය, රූපය, චක්ෂුර්විඥානය යන තිදෙනා ගේ එක්වීම ඵස්සය ය යනු එහි තේරුම යි. ඵස්සය ඇති වීමට බාහිරායතනයන් ගේ ද සහයෝගය ලැබිය යුතු බැවින් ස්පර්ශයා ගේ ප්‍රත්‍යය සැටියට ආධ්‍යාත්මිකායතන සයය, බාහිරායතන සයය යන දොළොස ම ගත යුතු ය.
කැටපත්-දිය ආදි ඔපය ඇති වස්තූන්හි ඉදිරියට පැමිණි වස්තුවේ ඡායාව තමන් තුළට ගන්නා ස්වභාවයක් ඇතුවාක් මෙන් චක්ඛායතනය යි කියන ලද චක්ෂුඃප්‍රසාදයෙහි ඉදිරියට පැමිණි වස්තුවේ ඡායාව තමන් තුළට ගන්නා ස්වභාවයක් ඇත්තේ ය. එයට ප්‍රසාදය යි කියනුයේ ද එහෙයිනි. ප්‍රසාද යන වචනයේ තේරුම ඔපය යනු යි. ඇසෙහි පිහිටි ඔපය නොහොත් ඇස නමැති ඔපය චක්ෂුඃප්‍රසාදය යි. රූපයෙහි මෙන් ම ශබ්දයෙහි ද ඡායාවක් ඇත්තේ ය. එය රූපච්ඡායාව මෙන් ඇසට පෙනෙන දෙයක් නො වේ. සෝතායතනය යි කියනු ලබන ශ්‍රෝත්‍ර ප්‍රසාදයෙහි තමා තුළට ශබ්දච්ඡායාව ගන්නා ස්වභාවයක් ඇත්තේ ය. ඝාණ ජිව්හා කායායතනයන්හි ද ගන්ධ රස ස්පර්ශයන් ගන්නා ස්වභාවයක් ඇත්තේ ය. මනායතනයෙහි බාහිරායතන සයම ගන්නා ස්වභාවයක් ඇත්තේ ය.
චක්ෂුඃප්‍රසාදයට රූපච්ඡායාවක් වැටීම ඒ වස්තූන් ගේ සැටියට ගද ඝට්ටනයකි. ශ්‍රෝත්‍රප්‍රසාදාදියෙහි ශබ්දාදීන් ගේ ගැටීම ද එසේ ය. බෙර ඇසත් අතත් දෙක එකට ගැටුණු කල්හි ශබ්දයක් පහළ කරවන ශක්තියක් ඒ දෙක්හි ඇතුවාක් මෙන් ද, ගිනිකූරක් හා ගිනිපෙට්ටියක් එකට ගැටුණු කල්හි ගින්නක් ඇති කරවන ශක්තියක් ඒ දෙක්හි ඇතුවාක් මෙන් ද, ආයතනයන්හි ඔවුනොවුන් එක්වීම් වශයෙන් ගැටුණු කල්හි විඥානයක් පහළ කරවීමේ ශක්තියක් ඇත්තේ ය. චක්ඛායතනයෙහි රූපායතනය පැමිණ ගැටුණු කල්හි චක්ෂුර්විඥානය පහළ වේ. සෝතායතනයෙහි ශබ්දායතනය ගැටුණු කල්හි සෝතවිඤ්ඤාණය පහළ වේ. ඝාණායතනයෙහි ගන්ධායතනය ගැටුණු කල්හි ඝ්‍රාණ විඥානය පහළ වේ. ජිව්හායතනයෙහි රසායතනය ගැටුණු කල්හි ජිව්හාවිඥානය පහළ වේ. කායායතනයෙහි පොට්ඨබ්බායතනය ගැටුණු කල්හි කායවිඥානය පහළ වේ. මනායතනයෙහි ධම්මායතනය ගැටුණු කල්හි මනෝවිඥානය පහළ වේ. මනායතනයෙහි චක්ඛායතනාදි පස ගැටීමෙන් ද මනෝවිඥානය පහළ වේ.
චක්ඛායතනය, රූපායතනය, චක්ෂුර්විඥාන සංඛ්‍යාත මනායතනය යන ධර්ම තුන එක් වූ කල්හි චක්ඛුසම්ඵස්සය ඇති වේ. චක්ඛුසම්ඵස්සය යනු එකිනෙක වෙන් නො කළ හැකි සේ චක්ෂූර් විඥානය හා සැදී, එහි ම අංගයක් ව චක්ඛායතනය ඇසුරු කොට, රූපායතනය අරමුණු කොට උපදනා වූ එක්තරා චෛතසික ධර්මයකි. “තිණ්ණං සංගති ඵස්සෝ” යි චක්ඛායතන රූපායතන චක්ඛුවිඤ්ඤාණයන් ගේ එක්වීම ඵස්සය යි වදාරා තිබීම පර්‍ය්‍යාය කථාවෙකි. එය සෞත්‍රාන්තික දේශනාවේ ස්වභාවයකි. කාරණය ගැන නො සලකා වචනයෙහි පමණක් එල්ලී අර්ථය ගන්නට ගියහොත් එ බඳු තැන්වල දී වැරදීම් සිදු වේ. වචනය අනුව ම සිතා ව්‍යඤ්ජනච්ඡායාවට රැවටී එක් වීම් මාත්‍රය ම ඵස්සය යි වරදවා නො ගත යුතු ය.
සෝතායතනය සද්දායතනය සෝතවිඤ්ඤාණය යන තුන එක් වූ කල්හි වෙන් නො කළ හැකි සේ සෝත විඤ්ඤාණය හා බැඳී, සෝතවිඤ්ඤාණයාගේ අවයවයක් වැනි වී සෝතායතනය ඇසුරු කොට, සද්දායතනය අරමුණු කොට සෝතසම්ඵස්සය ඇති වේ. ඝාණසම්ඵස්සාදි සතර ඇති වන සැටි ද, කියන ලද්දට අනුව තේරුම් ගත යුතු ය. යම් කිසි සත්ත්වයකුට චක්ෂුරාදි ආයතන පහළ වී නිරුපද්‍රිතව පැවතුණ හොත් ඒවායේ රූපාදි අරමුණු සැපී විඥාන ඇති වී ඵස්සයන් ද ඇති වීම ඒකාන්තයෙන් සිදුවන්නකි. ‘සළායතන පච්චයා ඵස්සෝ’ යි වදාළේ එහෙයිනි.
“තත්ථ කතමා ඵස්සපච්චයා වේදනා? චක්ඛු සම්ඵස්සජා වේදනා, සෝතසම්ඵස්සජා වේදනා, ඝාණ සම්ඵස්සජා වේදනා, ජිව්හාසම්ඵස්සජා වේදනා, කාය සම්ඵස්සජා වේදනා, මනෝසම්ඵස්සජා වේදනා, අයං වුච්චති ඵස්ස පච්චයා වේදනා”
යනුවෙන් විභංගපාළියෙහි චක්ඛුසම්ඵස්සජ වේදනා ය, සෝත සම්ඵස්සජ වේදනා ය, ඝාණසම්ඵෂ්සජ වේදනා ය, ජිව්හා සම්ඵස්සජ වේදනා ය, කායසම්ඵස්සජ වේදනා ය, මනෝසම්ඵස්සජ වේදනා ය යන වේදනා සය ස්පර්ශය නිසා හටගන්නා වේදනාව ය යි දක්වන ලදී. රස විඳීමේ ආකාරයෙන් වනාහි සුඛ වේදනාවය, දුඃඛ වේදනාවය, උපේක්‍ෂා වේදනාව ය යි ස්පර්ශය නිසා හටගන්නා වූ වේදනාව තුන් ආකාර වේ.
විඥානය කරණ කොට ගෙන දැනගන්නා වූ දේවලට ආරම්මණය යි කියනු ලැබේ. අරමුණුවල හොඳ බවක් හෝ නරක බවක් හෝ මධ්‍යස්ථ බවක් හෝ ඇත්තේ ය. අරමුණුවල ඇති ඒ ස්වභාව තුනට ආරම්මණරසය යි කියනු ලැබේ. ආරම්මණය අනෙකකි. ආරම්මණරසය අනෙකකි. ඒ දෙක එකක් කොට නො සැලකිය යුතුය. රසය ආරම්මණයේ ගුණ විශේෂයකි. විඥානයෙන් ආරම්මණය දැනගනී. එහෙත් එහි රසය විඥානයට නො දැනේ. යම් කිසිවක් අරමුණු කොට විඥානය උපදනා කල්හි එය හා සමග ස්පර්ශ චෛතසිකය ද උපදී. ස්පර්ශයෙන් තොර ව කිසිකලෙක විඥානයක් නූපදී. ස්පර්ශය විඥානයට අරමුණු ගැනීමට උපකාර වේ. ස්පර්ශය නිසා ආරම්මණයේ රසය මතු වෙයි. ආරම්මණ රසය මතුකිරීම ස්පර්ශයා ගේ විශේෂ කෘත්‍යයකි.
ආරම්මණ රසය මතු කර දෙන්නා වූ ඒ ස්පර්ශ චෛතසිකය යුෂය බැහැර කරනු පිණිස දෙහි ගෙඩියක් දොඩම් ගෙඩියක් මිරිකන්නා වූ අත මෙන් ද රසය දිවට ලබා දීම සඳහා ආහාරය තළන්නා වූ සුණු කරන්නා වූ දත් පෙළ මෙන් ද දත යුතු ය. ස්පර්ශය ආරම්මණ රසය මතු කරන නමුත් රසය නො දනී. ස්පර්ශයෙන් ආරම්මණ රසය මතු කළ කල්හි ඒ රසය ගන්නා වූ විඳින්නා වූ ස්වභාවයක් ඇති වේ. මෙහි වේදනාව ය යි කියනු ලබනුයේ ඒ රසය ගන්නා වූ ස්වභාවයට ය. එය විඥාන ස්පර්ශ දෙකින් අන්‍ය වූ චෛතසික ධර්මයකි. ලෝකයෙහි වේදනාව ය යි කියනුයේ දුකට ය. මෙහි වේදනාව ය යි කියනුයේ සැපය දුකය මධ්‍යස්ථභාවය යන තුනට ම ය.
හොඳ අරමුණක හොඳ බව ස්පර්ශයෙන් මතු කළ කල්හි එය ගන්නා වූ විඳින්නා වූ ස්වභාවයට සුඛවේදනාව ය යි ද සෝමනස්ස වේදනාව ය යි ද කියනු ලැබේ. නපුරු බව ඇති අරුමණක නපුරු බව ගන්නා වූ විඳින්නා වූ ස්වභාවයට දුඃඛ වේදනාව ය යි ද, දෝමනස්ස වේදනාව ය යි ද කියනු ලැබේ. මධ්‍යම අරමුණක මධ්‍යම බව ගන්නා වූ විඳින්නා වූ ස්වභාවයට අදුක්ඛමසුඛ වේදනාවය යි ද, උපේක්‍ෂා වේදනාව ය යි ද කියනු ලැබේ. ආරම්මණයන් ගේ නිශ්චිත හොඳ නරක බවක් නැත. කෙනකුට සුන්දර දෙය කෙනකුට නපුරකි. කෙනකුට නපුරු දෙය කෙනකුට සුන්දර දෙයකි. සර්පයාට සැපින්න පරම සුන්දර අරමුණකි. මැඩියාට නම් නපුරකි. කාල දේශ ද්වාරාදි වශයෙන් ද ආරම්මණයන්ගේ ඉටු අනිටු බව කිය යුතු ය.
විඥාන - වේදනා දෙක්හි ම බලාබල බව ස්පර්ශයට අනුව සිදු වේ. දුර තිබෙන දෙයක් සම්බන්ධයෙන් ඇති වන්නේ මන්දස්පර්ශයකි. එබැවින් එය දක්නා තැනැත්තාට එය සම්බන්ධයෙන් ඇති වන්නේ ආරම්මණ තත්ත්වාකාරයෙන් ගැනීමට අසමර්ථ වූ දුබල විඥානයකි. ඒ විඥානය සමග උපදිනුයේ ද ආරම්මණ රසය මනා කොට නො ලබන්නා වූ නො විඳින්නා වූ දුබල වේදනාවකි. අරමුණ සියුම් වන කල්හි ද ස්පර්ශය දුබල වීමෙන් දුබල විඥාන - වේදනාවෝ උපදිති. යම් කිසි කරුණකින් ස්පර්ශය දුබල වූ කල්හි සුඛ සෝමනස්ස වේදනාවන්ට නිසි ඉටු අරමුණ සම්බන්ධයෙන් ද උපේක්‍ෂා වේදනාවම වේ. දෝමනස්ස වේදනාවට නිසි අනිටු අරමුණු සම්බන්ධයෙන් ද උපේක්‍ෂා වේදනාව වේ. කවර ආකාරයකින් හෝ ස්පර්ශය ඇති වුව හොත් වේදනාව ඇති වීමට කිසි බාධාවක් නැත. වේදනාවගේ උත්පත්තිය වැළැක්වීමට සමර්ථ බලයක් හෝ පුද්ගලයෙක් ද නැත. ස්පර්ශය ඇති වුවහෝත එයට අනුව වේදනාව ද ඇතිවන්නේ ම ය. එබැවින් තථාගතයන් වහන්සේ ‘ඵස්සපච්චයා වේදනා’ යනු වදාළ සේක.
සසර සැරිසරන පෘථග්ජන සත්ත්වයන් විසින් ඉතා ම උසස් කොට සලකන දෙය සුඛ වේදනා, සෝමනස්ස වේදනාය යි කියනු ලබන සැපය ය. ඔවුන් සසර නො කලකිරෙන්නේ, මේ මහා දුඃඛස්කන්ධය ඔවුනට එපා නොවන්නේ, අතර අතර වත් ඇතිවන්නා වූ මේ සැපය නිසා ය. අඹු - දරු - නෑ - මිතුරු ආදීන් උතුම් කොට සලකනුයේ ද සැපය ලබාගැනීමට උපකාර වන පුද්ගලයන් නිසා ය. ආහාර පාන වස්ත්‍ර ගෘහාදිය උතුම් කොට සලකනුයේ ද සැපය ලැබීමට උපකාර වන නිසා ය. උසස් කොට සලකන අඹු දරු ආදීන් නැති ව වස්තූන් නැති ව ඒ සැපය නිකම්ම ලැබේ නම් කිසිවෙක් පුත්‍ර කලත්‍රාදීන් උසස් කොට නො සලකන්නාහ, ඔවුන්ට ඇලුම් නො කරන්නා හ. ආහාර පාන මිලමුදල් ආදිය උසස් කොට නො සලකන්නාහ. ඕවාට ඇලුම් නො කරන්නාහ. මෙසේ සත්ත්වයන් ඒ සැපය උසස් කොට සලකන බැවින් එය සඳහා ඔවුන් නොකරන දෙයක් නැත. නො ගන්නා දුකක් නැත.
සත්ත්වයන් විසින් ඉතා ම නපුරු කොට සලකන බිය වන දෙය නම් දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනාය යි කියනු ලබන දුකය. සත්ත්වයෝ යමක් කෙරෙත් නම් ඒ සියල්ල ම කරනුයේ සැප ලැබීම ය, දුක දුරු කර ගැනීම ය යන මේ දෙ කරුණ සඳහා ය. වේදයිත සුඛය උතුම් කොට ගන්නා වූ පෘථග්ජනයාහට ඉෂ්ට රූපාදීන් ගේ ස්පර්ශයෙන් සුඛ වේදනාව හෝ සෝමනස්ස වේදනාව හෝ ඇති වූ කල්හි “බොහෝ සැපය, බොහෝ ප්‍රණීත ය, ඉතා හොඳ ය” යනාදීන් සුඛ සෝමනස්ස වේදනා පිළිබඳ තෘෂ්ණාව ඇති වේ.
අනිෂ්ටාරම්මණයන්ගේ ස්පර්ශයෙන් දුඃඛ දෞර්‍මනස්‍ය වේදනාවන් ඇති වී එයින් පීඩිත කල්හි “සුවය ඕනෑ ය, සුවය ඕනෑ ය, සුවය කෙසේ ලබම් දැ” යි සුවය පිළිබඳ තෘෂ්ණාව ඇති වේ. දුඃඛයෙන් පීඩිත සත්ත්වයා හට සැපයක් නුවූයේ ද උපේක්‍ෂා වේදනාව මුත් ඇති වුවහොත් “මෙයත් ඇත, මෙයත් සැනසිල්ලෙක, මෙයත් සැපයකැ” යි උපේක්‍ෂා වේදනා පිළිබඳ ව ද තෘෂ්ණාව උපදී. මෙසේ සුඛදුඃඛෝපේක්‍ෂා සංඛ්‍යාත ත්‍රිවිධ වේදනාව ම නිසා තෘෂ්ණාව උපදනා බැවින් තථාගතයන් වහන්සේ “වේදනා පච්චයා තණ්හා” යි වේදනාව නිසා තෘෂ්ණාව උපදීය යි වදාළ සේක. වේදනා ප්‍රත්‍යයෙන් හටන්නා වූ තෘෂ්ණාව කවරෙක් ද යන බව දැක්වීම පිණිස විභංගපාළියෙහි මෙසේ වදාළ සේක.
“තත්ථ කතමා වේදනාපච්චයා තණ්හා? රූප තණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා පොට්ඨබ්බ තණ්හා ධම්මතණ්හා. අයං වුච්චති වේදනා පච්චයා තණ්හා.”
“රූප තෘෂ්ණාවය, ශබ්ද තෘෂ්ණාවය, ගන්ධ තෘෂ්ණාවය, රස තෘෂ්ණාවය, ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාවය, ධර්ම තෘෂ්ණාවය යන මේ වේදනා ප්‍රත්‍යයෙන් හටගන්නා තෘෂ්ණාව ය” යි එයින් දැක්වේ.
චක්ඛායතන මනායතන දෙක්හි ස්පර්ශ වන රූපය පිළිබඳ තෘෂ්ණාව රූපතෘෂ්ණාව ය. සෝතායතන මනායතන දෙක්හි ස්පර්ශ වන ශබ්දය පිළිබඳ තෘෂ්ණාව ශබ්ද තෘෂ්ණාව ය. ඝාණායතන මනායතන දෙක්හි ස්පර්ශ වන ගන්ධය පිළිබඳ වූ තෘෂ්ණාව ගන්ධ තෘෂ්ණාව ය. ජිව්හායතන මනායතන දෙක්හි ස්පර්ශ වන රසය පිළිබඳ වූ තෘෂ්ණාව ගන්ධ තෘෂ්ණාව ය. ජිව්හායතන මනායතන දෙක්හි ස්පර්ශ වන රසය පිළිබඳ වූ තෘෂ්ණාව රස තෘෂ්ණාවය. කායායතන, මනායතන දෙක්හි ස්පර්ශ වන ස්ප්‍රෂ්ටව්‍යය පිළිබඳ තෘෂ්ණාව ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව ය. මනායතනයෙහි පමණක් ස්පර්ශ වන ධම්මාරම්මණය පිළිබඳ තෘෂ්ණාව ධර්ම තෘෂ්ණාව ය.
වේදනාව නිසා සවැදෑරුම් තෘෂ්ණාව ඇති වන වැඩෙන සැටි මෙසේ දත යුතුය. ඉතා උස් නො වූ ඉතා මිටි නො වූ ඉතා කළු නො වූ ඉතා සුදු නො වූ ඉතා ස්ථුල නො වූ ඉතා කෘශ නො වූ මනා හැඩහුරුකම ඇත්තා වූ තරුණ වියෙහි වූ කාන්තාවකගේ ශරීරයෙහි, දුටුවන් ගේ සිත් නෙත් පිනවන්නා වූ ඇදගන්නා වූ ප්‍රබෝධ කරන්නා වූ සිත් නෙත්වලට සුව එළවන්නා වූ කාමුක පුරුෂයන්ගේ සිත් අවුල් කරන්නා වූ එක්තරා ස්වභාවයක් ඇත්තේ ය. එයට රූපරසය ය යි කියනු ලැබේ. ඒ කාන්තාව පුරුෂයකු ගේ නෙතට හමුවන කල්හි ඒ පුරුෂයා කෙරෙහි චක්ඛු සම්ඵස්සය හා මනෝ සම්ඵස්සය ඇති වේ. ඒ ස්පර්‍ශයෙන් පුරුෂයා ගේ සිතට කාන්තාව ගේ රූප රසය මතුකර දෙනු ලැබේ. ඒ හේතුවෙන් පුරුෂයා ගේ සන්තානයෙහි “මේ කාන්තාව බොහොම හොඳය, බොහොම ලස්සන ය” යි රූප රසය ගන්නා වූ විඳින්නා වූ වේදනාව ඇති වේ. ඒ වේදනාව නිසා පුරුෂයා ගේ සිත පිනා යේ. හිරු රැස් පහස ලත් පද්මයක් සේ ප්‍රබෝධ වේ. සිතට අනුව ඔහු ගේ මුහුණ ද ප්‍රබෝධ වේ. පැහැපත් වේ. එබැවින් පුරුෂයාට ඒ වේදනාව ඉතා අගය ඇති දෙයකි. ඉතා රස ඇති දෙයකි. ඉතා මිහිරි දෙයකි. එබැවින් ඒ පුරුෂයාට “බොහො ම සැප ය, බොහො ම හොඳ ය, බොහො ම මිහිරිය” යි වේදනාව පිළිබඳ තෘෂ්ණාවක් ඇති වේ.
වේදනාව එක්තරා ධර්මයකි. එබැවින් වේදනාව සම්බන්ධයෙන් උපදනා වූ තෘෂ්ණාවට ධර්මතෘෂ්ණාව ය යි කියනු ලැබේ. මිහිරි වූ ඒ සෝමනස්ස වේදනාව ඇති වූයේ කාන්තාවක ගේ රූප රසය නිසා ය. එබැවින් මිහිරි වූ ඒ සෝමනස්ස වේදනාවට හේතු වන රූප රසය පිළිබඳව ද “බොහො ම ලස්සන ය, බොහො ම හොඳ ය” කියා තෘෂ්ණාව ඇති වේ. රූප රසය නිසා හටගන්නා වූ ඒ තෘෂ්ණාවට රූප තෘෂ්ණාව ය යි කියනු ලැබේ.
ගිනිකූරක හටගත්තා වූ කුඩා ගිනි පුපුර වියළි කොළ ගොඩකට පිදුරු ගොඩකට පැමිණ මහ ගිනි කඳක් වන්නාක් මෙන් රූප රසය නිසා වරක් හටගත්තා වූ ඒ තෘෂ්ණාව රූප රසය හා සම්බන්ධ ඒ ඒ දෙයට පැමිණ මහා තෘෂ්ණා ස්කන්ධයක් වේ. ඒ මෙසේය :-
රූප රසයට ඇලුම් කරන තැනැත්තේ, ඒ රූප රසය නිසා රූපරසය ඇති වස්තුව වූ ඒ ස්ත්‍රී ශරීරයට, ‘මේ ස්ත්‍රිය බොහොම ලස්සනය, බොහොම හොඳය, බොහොම ප්‍රියංකරය’ යි ඇලුම් කරයි. ශරීරය පිළිබඳ ඇල්ම නිසා ඒ ශරීරය සරසන්නා වූ වස්ත්‍රාභරණ සුවඳ විලවුන් ආදිය ගැන ඇල්ම ඇති වේ. ඒ ස්ත්‍රිය තමා අයත් කර ගැනීමේ ආශාව ඇති වේ. ඉන්පසු ඇගේ ඥාතීන් පිළිබඳ තෘෂ්ණාව ඇති වේ. ඇය පෝෂණය කිරීමට වුවමනා ආහාර පාන ඇඳ පුටු මේස යාන වාහනාදිය පිළිබඳ තෘෂ්ණාව ඇති වේ. ඉඩකඩම් ගෙවල් පිළිබඳ තෘෂ්ණාව ඇති වේ. උවමනා දෑ ලබා ගැනීමට තිබිය යුතු මිල මුදල් පිළිබඳව තෘෂ්ණාව ඇති වේ. මෙසේ ඒ රූපතෘෂ්ණාව එකින් එකට පැමිණෙමින් මහා තෘෂ්ණාස්කන්ධයක් වන්නේ ය. ඒ තෘෂ්ණාව රූප ශබ්දාදීන් අතුරෙන් කවරකට පැමිණ වැඩුනේ වී නමුත් රූපරසය මුල් කොට ඇති බැවින් එයට රූපතෘෂ්ණාව ය යි කියනු ලැබේ.
මේ තෘෂ්ණාස්කන්ධයෙන් දීර්ඝ කාලයක් පුද්ගලයා දවනු තවනු ලැබේ. මේ කියන ලදුයේ ස්ත්‍රී රූපයක් සම්බන්ධයෙන් තෘෂ්ණාව ඇති වන ආකාරය යි. මෙසේ රූපතෘෂ්ණාව උපදිනුයේ ස්ත්‍රී රූපය සම්බන්ධයෙන් පමණක් නොවේ. රූප රසය ඇත්තා වූ පණ ඇති නැති වස්තූහු ලෝකයෙහි ඉතා බොහෝය. රූපරසය ආස්වාදනය කරන වේදනාව ඇති වුවහොත් කවර රූපයක් සම්බන්ධයෙන් වුව ද රූපතෘෂ්ණාව ඇති වී වැඩෙන්නේ ය. ඒවා ඈත් වී වැඩෙන සැටි එකින් එක කියතහොත් කෙළවරක් දැකීම දුෂ්කරය. කියන ලද්ද අනුව නො කී රූපයන් සම්බන්ධයෙන් තෘෂ්ණාව ඉපද වැඩෙන සැටි සලකා ගත යුතු ය.
ශබ්දයන්හි ඇත්තා වූ මිහිරි බව ශබ්ද රසය යි. තරුණ තරුණියන් ගේ හඬෙහි ද, ළමා හඬෙහි ද, තූර්‍ය්‍ය භාණ්ඩයන් ගේ හඬෙහි ද එය වඩාත් ඇත්තේ ය. ගන්ධයන්හි ඇති මිහිරි බව ගන්ධ රසය යි. ආහාර පානයන්හි ඇති පැණි රස - තික්ත රස - ලුණු රස - ඇඹුල් රස - කසට රස - කටුක රස යන මේවායේ ඇති මනෝඥ භාවය රස රසය යි. ශරීරයෙහි සැපෙන තද බව - මොළොක් බව - සිහින් බව - මහත් බව - සිසිල් බව - උණුසුම් බව යන ආදියෙහි ඇත්තා වූ ප්‍රියංකර ස්වභාවය ස්ප්‍රෂ්ටව්‍ය රසය යි. ශබ්ද රසාදි මේ රස සතර නිසා ශබ්දතෘෂ්ණාදි තෘෂ්ණා සතර ඉපදී මහ ගිනි කඳු සේ වැඩී සත්ත්වසන්තානය දවන තවන ආකාරය රූපතෘෂ්ණාව සම්බන්ධයෙන් කී කරුණු අනුව සලකා ගත යුතුය. දීර්ඝ වන බැවින් මෙහි නො දක්වනු ලැබේ.
රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන පසෙන් අන්‍ය වූ සියල්ලට ම කියන සාමාන්‍ය නාමය ‘ධර්‍ම’ යනු යි. එකිනෙක වෙන් වශයෙන් කියත හොත් ධර්ම බොහෝ ය. අනේක ප්‍රභේද වූ ඒ ධර්මයන් කෙරෙහි ද අනේකාකාර මනෝඥ ස්වභාවයෝ වෙති. සාමාන්‍යයෙන් ඒ සියල්ලට ම ධර්ම රසයයි කියනු ලැබේ. ධර්ම රසය විඳින වේදනාව නිසා ධර්ම රසය සම්බන්ධයෙන් හටගන්නා වූ තෘෂ්ණාවට ධර්ම තෘෂ්ණාව ය යි කියනු ලැබේ.
ජීවිතය, චක්ෂුරාදි ඉන්ද්‍රිය, ශරීර ශක්තිය, කීමෙහි දක්‍ෂ බව, වැඩ කිරීමෙහි දක්‍ෂ බව, වීර්‍ය්‍යය, නිර්භීත බව, ශූර බව, නුවණ, කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, පවට ලජ්ජාව, පවට බිය, ලෝභය, දෘෂ්ටිය, මානය, ද්වේෂය, ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මෘෂාවාදය, සුරාපානය, දානය, ශීලය, භාවනාව, සමාධිය යන මේවා තෘෂ්ණාවට හේතුවන ධර්මරසය ඇත්තා වූ අරමුණුවලින් සමහරෙකි. මේවායින් එක එකක් නිසා ධර්ම තෘෂ්ණාව ඇති වී වැඩෙන සැටි දක්වන්නට ගිය හොත් ග්‍රන්ථය ඉතා දීර්ඝ වන බැවින් ක්‍රමය තේරුම් ගත හැකි වනු පිණිස කරුණු දෙක තුනක් නිසා ධර්ම තෘෂ්ණාව ඇති වන සැටි පමණක් මෙහි දක්වනු ලැබේ.
යම් කිසි පිය කෙනකුට වීර්‍ය්‍යවත් දරුවෙක් ඇත්තේ ය. වීර්‍ය්‍යය අර්ථදායක එක්තරා ධර්මයකි. එබැවින් පුතා ගේ වීර්‍ය්‍යය අරමුණු වන කල්හි පියා ගේ සිතෙහි ප්‍රබෝධයක් සුඛස්වභාවයක් ප්‍රීතියක් ඇති වේ. පුතා ගේ වීර්‍ය්‍යයෙහි ඇති පියා ගේ සිත ප්‍රබෝධ කළ හැකි ප්‍රීතිමත් කළ හැකි ස්වභාවය වීර්‍ය්‍ය සංඛ්‍යාත ධර්මයා ගේ රසය යි. පුත්‍රයාගේ වීර්‍ය්‍යය පියා ගේ සිතට අරමුණු වන කල්හි ඇතිවන්නා වූ ස්පර්ශයෙන් වීර්‍ය්‍ය සංඛ්‍යාත ධර්මයා ගේ රසය මතු වෙයි. ඒ හේතුවෙන් ‘මේ වීර්‍ය්‍යය බොහො ම හොඳ ය, බොහොම උතුම්ය’ යි ඒ රසය විඳින්නා වූ සෝමනස්ස වේදනාව පහළ වේ. ඒ වේදනාව නිසා පුත්‍රයා ගේ වීර්‍ය්‍යය ඉතා යහපතැ යි තෘෂ්ණාව හටගන්නේ ය. පළමුකොට වීර්‍ය්‍යය සම්බන්ධයෙන් හටගත්තා වූ ඒ තෘෂ්ණාව ‘මගේ පුතා බොහොම හොඳය’ යි පුත්‍රයා ගේ සම්පූර්ණ පඤ්චස්කන්ධයට පැමිණ මහත් වෙයි. පුත්‍රයා හට වුවමනා තවත් නොයෙක් දෙයට පැමිණ තවත් මහත් වෙයි.
ප්‍රේමය යනු ලෝභයට ම නමෙකි. තරුණියක් තරුණයකුට ප්‍රේම කරයි. ප්‍රේමය යි කියන ලෝභය තරුණයා ගේ සිත්හි ස්පර්ශ වූ කල්හි එහි ඇති ඉෂ්ටාකාරය වූ ධර්මරසය විඳින සෝමනස්ස වේදනාව තරුණයා කෙරෙහි ඇති වෙයි. ඒ සෝමනස්සය නිසා තරුණයා ගේ සන්තානයෙහි ඒ ප්‍රේමය ගැන තෘෂ්ණාවක් ඇති වෙයි. ඉක්බිති “මැය මාහට ප්‍රේම කරන්නියකැ” යි ඇගේ පඤ්චස්කන්ධයට ම ඒ තෘෂ්ණාව පැමිණ මහත් වෙයි. ඉන්පසු ඒ ස්ත්‍රිය සතුටු කරවීමට උවමනා නොයෙක් දෙයට පැමිණ ඒ තෘෂ්ණා නමැති වෘක්ෂය අතුපතරින් වැඩේ. මෙසේ කෙනකු ගේ සන්තානයෙහි හටගත් ලෝභය නිසා තවත් කෙනකුගේ සන්තානයෙහි තෘෂ්ණා ස්කන්ධයක් පහළ වේ. සමහර විට තමා තුළ හටගත්තා වූ එක් තෘෂ්ණාවක් අරමුණු කොට ද එසේම තෘෂ්ණා ස්කන්ධයක් පහළ වේ.
යම් කිසිවක් ඇතකු සිංහයකු ව්‍යාඝ්‍රයකු වැනි නපුරු සතකු මරයි. පසු ව ඔහුට ‘මහ සපන් කමක් කෙළෙමි’ යි ප්‍රාණඝාතයේ රසය විඳින සෝමනස්ස වේදනාවක් ඇති වේ. ඉක්බිති ප්‍රාණඝාතය නමැති තමා කළ දස්කම පිළිබඳ ව තෘෂ්ණාව හටගනී. පසුය එය මානාදියට ද එක් වී මහත් වේ. තමන් ගේ සේවකයන් දරුවන් ආදීන් කෙනකු එබඳු ක්‍රියාවන් කළ අවස්ථාවල දී අනුන් කළ ප්‍රාණඝාතය නිසා ද තෘෂ්ණා ස්කන්ධයක් ඇති වේ. නො කියන ලද කරුණු සම්බන්ධයෙන් ද ධර්ම තෘෂ්ණාව ඇති වී වැඩෙන සැටි කල්පනා කළ යුතු. මේ සවැදෑරුම් තෘෂ්ණාවන් අතුරෙන් එක එකක් කාම තෘෂ්ණාව ය, භව තෘෂ්ණාව ය, විභව තෘෂ්ණාව ය යි තුන් ආකාර වන බව ද දක්වා තිබේ.
“තත්ථ කතමං තණ්හාපච්චයා උපාදානං? කාමූපාදානං, දිට්ඨුපාදානං, සීලබ්බතුපාදානං, අත්තවාදුපාදානං ඉදං වුච්චති තණ්හාපච්චයා උපාදානං” යනුවෙන් කාමුපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතුපාදානය, අත්තවාදුපාදානය යන සතර; තෘෂ්ණා හේතුවෙන් හටගන්නා උපාදානය යි ප්‍රකාශිත ය.
ආදාන යන වචනයේ තේරුම ගැනීම යනු යි. සර්පයකු විසින් මැඩියකු ගන්නාක් මෙන් ද, කබරගොයකු විසින් සර්පයකු ගන්නාක් මෙන් ද ලෙහෙසියෙන් නො හරින පරිද්දෙන් තදින් ගැනීමට උපාදානය යි කියනු ලැබේ. සිත්හි හටගන්නා යම් ධර්මයක් තෙමේ අරමුණ එසේ තදින් ගැනීම කෙරේද, ඒ ධර්මයට ද උපාදානය යි කියනු ලැබේ. මෙහි උපාදානය යි කියනුයේ අරමුණ එසේ තදින් ගැනීම කරන චෛතසික ධර්මයන්ට ය. ඔවුහු කියන ලද සතර දෙන ය. සංක්ෂේපයෙන් කියත හොත් උපාදාන යනු තෘෂ්ණා දෘෂ්ටි යන ධර්ම දෙක ය.
කාමුපාදානය කවරේ දැයි කොටින් කියත හොත් ප්‍රිය කරන්නා වූ අඹු - දරු - නෑ - මිතුරු ආදි පුද්ගලයන් හා ඇත් - අස් - ගව - ආහාර - පාන - ගෙවල් - වස්ත්‍ර - රන් - රිදී - මුතු - මැණික් - කෙත් - වතු - මිල - මුදල් ආදි පණ ඇති නැති වස්තූන් ද ඕනෑම ය කියා තදින් ගන්නා වූ ද, අයත් කරගන්නා වූ ද, මිදවීමට පහසු නො වූ නැවත නැවත ඇති වීමෙන් කල් පැවතීමෙන් වැඩුනා වූ ද ලෝභය කාමුපාදාන ය යි කිය යුතු ය.
“කාම” යන වචනයෙන් කැමති විය යුතු වස්තුය, ඒවාට කැමති වන්නා වූ තෘෂ්ණාවය යන අර්ථ දෙක ම ලැබෙන්නේ ය. ‘කාම’ යන වචනයේ අර්ථය කැමති විය යුතු - ඇලුම් කළ යුතු දෙය ය යි ගන්නා කල්හි, කැමති විය යුතු වස්තු වූ කාමය තදින් ගන්නා වූ ධර්මය කාමුපාදාන නම් වේ. ‘කාම’ යන වචනයෙන් ඇලුම් කරන තෘෂ්ණාවය යන අර්ථය ගන්නා කල්හි තෘෂ්ණා සංඛ්‍යාත තදින් ගැනීම හෙවත් තදින් ගැනීම කරන තෘෂ්ණාව කාමුපාදාන නම් වේ.
ඇටයෙන් පැළ වූ සැටියේ ම ගස ඉතා දුබලය. එය පහසුවෙන් නැසිය හැකි ය. තිබෙන තැනින් පහ කළ හැකි ය. වර්ෂ ගණනක් ගතවීමෙන් ඒ පැළය විශාල ප්‍රදේශයක් වසා සිටින අතු පතර ඇති පොළොවේ බොහෝ යටට කා වැදුණු බොහෝ දුර පැතිර ගිය බොහෝ ලොකු කුඩා මුල් ඇති, අලියකු විසින් ද නො සෙල්විය හැකි හෛසියෙන් නො නැසිය හැකි ලෙහෙසියෙන් තිබෙන තැනින් නො පහ කළ හැකි මහ ගසක් වන්නේ ය. එකල්හි එය පැළයක් නො වේ. එමෙන් යම් කිසි අරමුණෙක ප්‍රථම කොට දුබල තෘෂ්ණාවක් උපදී. එය මහ ගසක් නොවී නැසී යන පැළයක් මෙන් සමහර විට ඉබේම ද දුරුවන්නේ ය. දුරු කිරීමට උත්සාහ කළහොත් පහසුවෙන් ම දුරු කළ හැකි වන්නේ ය. මුලදීම දුරු නොවී ඒ අරමුණෙහි නැවත නැවත ඒ තෘෂ්ණාව උපදින්නට පටන් ගත හොත් නැවත නැවත ඉපදීම් වශයෙන් පරණ වුව හොත් පැළය සේම වැඩී අන්තිමේ දී ලෙහෙසියෙන් නො නැසෙන දුරළීමට අතිශයින් දුෂ්කර වූ බලවත් තෘෂ්ණාවක් වන්නේ ය. බලවත් වූ ඒ තෘෂ්ණාවට කාමුපාදානය යි කියනු ලැබේ.
උපාදානත්වයට පැමිණි තෘෂ්ණාවක් දුරු කරවීම බුදුවරයකුට වුව ද පහසු නැත. තමන් වහන්සේ ගේ සස්නෙහි පැවිදි වූ නන්ද කුමාරයන් ගේ තෘෂ්ණාව දුරු කරවීමට හා පන්සියයක් ශාක්‍ය-කෝලිය කුමාරවරුන් ගේ තෘෂ්ණාව දුරු කරවීමටත් තථාගතයන් වහන්සේට බොහෝ වෙහෙසෙන්නට සිදු වූයේ එහෙයිනි. වැඩුණු තෘෂ්ණාව ය, නො වැඩුණු තෘෂ්ණාව ය යන දෙක ධර්ම වශයෙන් සම වුව ද, පැළය හා මහ ගස මෙන් එකිනෙකට තත්ත්වයෙන් ඉතා වෙනස්ය. යම්කිසි අරමුණක නැවත නැවත තෘෂ්ණාව උපන හොත් එය වැඩී බලවත් වීම ඒකාන්තයෙන් ම සිදු වන්නකි.
යම්කිසි භාණ්ඩයක් ප්‍රථමයෙන් දුටු කල්හි එය හොඳ ය ලස්සනය යි පළමුකොට තෘෂ්ණාව උපදී. එය නැවත නැවතත් උපදනා කල්හි ඒ බඩුව තමන් අයිති දෙයක් කර ගැනීමේ ආශාව ඇති වේ. අයිති කරගත් පසු නැවත අන්‍යයකුට අයත් නො වන සැටියට, නො නැසෙන සැටියට, ආරක්‍ෂා කිරීමේ ආශාව ඇති වේ. මෙසේ තෘෂ්ණාව ක්‍රමයෙන් වැඩීමට පැමිණේ. ස්ත්‍රී පුරුෂයන් සම්බන්ධයෙන් උපදනා වූ ද ඇතැම් ආහාරයන් සම්බන්ධයෙන් උපදනා වූ ද, මත්ස්‍ය මාංශ සම්බන්ධයෙන් උපදනා වූ ද, මද්‍යයන් සම්බන්ධයෙන් උපදනා වූ ද, මෛථුනය සම්බන්ධයෙන් උපදනා වූ ද සූදුව සම්බන්ධයෙන් උපදනා වූ ද, මිල මුදල් සම්බන්ධයෙන් උපදනා වූ ද තෘෂ්ණාව, විශේෂයෙන් ම වැඩී උපාදානත්වයට පැමිණෙන්නේ ය. ‘වේදනාපච්චයා තණ්හා’ යන තන්හි දැක්වෙනුයේ නො වැඩුණු දුබල තණ්හාව ය. “තණ්හා පච්චයා උපාදානං” යන මෙහි ගැනෙනුයේ වැඩීමෙන් බලවත් වූ තෘෂ්ණාව ය. රූපාදි ආරම්මණ විෂයෙහි වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව නූපන හොත් උපාදාන නම් වූ දෘඪතෘෂ්ණාව නූපදනේ ය. එය උපදිනුයේ පළමු දුබල තෘෂ්ණාව උපන හොත් පමණෙකි. තෘෂ්ණාව නිසා උපාදානය වේ ය යි වදාළේ එහෙයිනි.
දිට්ඨුපාදාන - සීලබ්බතුපාදාන - අත්තවාදුපාදාන යන තුන ගන්නා ආකාරයන් ගේ වශයෙන් තුනක් වතු දු ධර්ම වශයෙන් එකක් වූ දෘෂ්ටිය ම ය. දැකීමට - දැනීමට - පිළිගැනීමට දිට්ඨිය යි කියනු ලැබේ. එය ද සම්මාදිට්ඨි - මිච්ඡාදිට්ඨිය යි දෙවැදෑරුම් වේ. යම් කිසිවක ඇති සැටිය - සිදුවන සැටිය - නිවැරදි ව දැකීම සම්මාදිට්ඨිය යි. යම් කිසිවක් ඇති සැටියෙන් අන්‍යාකාරයකට දැකීම හා යම්කිසි හේතුවකින් සිදු වන්නක් එයින් අන්‍ය හේතුවකින් සිදුවන සැටියට හෝ ඉබේ ම සිදුවන සැටියට හෝ දැකීමත්, නැති දෙයක් ඇති සැටියට දැකීමත්, ඇති දෙයක් නැති සැටියට දැකීමත් මිථ්‍යා දෘෂ්ටිය යි. අකුශල කථා විෂයෙහි මිථ්‍යාදෘෂ්ටිය දැක්වීමට නොයෙක් විට දිට්ඨි යන්න පමණක් ම ද යොදනු ලැබේ. දිට්ඨුපාදාන යනු ද එ බඳු තැනකි. දිට්ඨි උපාදානාදි උපාදාන තුන විස්තර කිරීමේ දී අන්තිම උපාදානය වූ අත්තවාදුපාදානයේ පටන් විස්තර කළ කල්හි අවබෝධ කර ගැනීම පහසු ය. එබැවින් එසේ කරනු ලැබේ.
වැරදි හැඟීම් නිසා සත්‍ය වශයෙන් නැත්තා වූ මම ය කියා දෙයක් ඇති සැටියට ගෙන “මම ය, මම ය” යි කථා කෙරෙත් ද, ඒ මම ය යි කියනු ලබන දෙය ඇති සැටියට තදින් ගැනීම, නො හොත් තදින් ගන්නා ස්වභාවය අත්තවාදූපාදානය යි. සැපදුක් විඳිමින් සිතමින් කියමින් වැඩ කරමින් සිත කය දෙකට අධිපතිකම් කරමින් එක් එක් සන්තානයක් පාසා පවත්නා වූ ප්‍රධාන දෙයකට ලෝකයෙහි ආත්මය යි කියනු ලැබේ. ඒ ඒ තැනැත්තා විසින් එයට කියනුයේ මම ය කියා ය. කෙනකු විසින් මම ය යි කියන දෙයට අන්‍යයෝ නුඹ ය යි ද, තමුසේ ය යි ද, අප්පුහාමි රාළහාමි ය යි ද, හාමුදුරුවෝ ය යි ද, ජේමිස් අප්පු, ජුවානිස් අප්පු, කරෝලිස් අප්පුය යි ද, මව ය, පියා ය, සහෝදරයා ය, සහෝදරිය යි ද, සමහර විට මුදලිතුමා මුහන්දිරම් තුමා රජතුමා ය යි ද කියති.
නුඹ - තමුසේ - අප්පුහාමි - රාළහාමි යනාදි වචන වලින් කියැවෙන දෙය හා මමය යන වචනයෙන් කියැවෙන දෙය එකක් ම බව දත යුතු. මමය යන වචනයෙන් කියැවෙන, ආත්මය කියවෙන වචන පමණ, අන් කිසි ම අර්ථයක් කියවෙන වචන කිසිම භාෂාවක නැත. ඒ අර්ථය දැක්වීමට භාෂාවල එපමණ මහත් රාශියක් වචන ඇත්තේ ලෝකයා විසින් එය අන් හැම දෙයට ම වඩා උසස් කොට ප්‍රධාන කොට ගන්නා බැවිනි. ඒ ආත්මය මම ය නුඹ ය යනාදීන් කොතෙක් මහත්කොට - කොතෙක් උසස් කොට ගන්නා ලද්දක් වුවද එය මිනිසුන් ගේ සිත්වල මිස සත්‍ය වශයෙන් ඇතියක් නම් නො වේ. එය කල්පනා මාත්‍රයක් මිස, සත්‍ය වශයෙන් ඇතියක් නොවන බව, ලෙහෙසියෙන් තේරුම්ගත නො හැක්කේ ද, ආත්මයක් ඇතය යන හැඟීම උපාදානයක් වී තිබෙන හෙයිනි.
නුඹ ය - මම ය යනාදි වචනවලින් කියවෙන ආත්මය සත්‍ය වශයෙන් නො ලැබෙන්නක් බව දත හැකි වනුයේ, නුඹ සේ මම සේ සත්ත්වයන් පුද්ගලයන් සේ පෙනෙන, නාම රූප ධර්ම සමූහයන් මැනවින් බෙදා ඒවා ඇති වන නැති වන සැටිද බැලීමෙනි. ගඟක් ඇති සැටියට ලෝකයා සලකති. ඒ ගඟ කුමක්ද? ජලය ගඟ නම් කළයේ වතුර ද ගඟ විය යුතුය. ජලය ගලායන බිම ගඟ නම් ජලය නැති කල්හි ද ඒ බිම ගඟ විය යුතු ය. එසේ ද නො වේ. එගොඩ ඉවුර හෝ මෙගොඩ ඉවුර හෝ ගඟ යයි කියත හොත් ජලය නැති බිමත් ගඟ විය යුතු වේ. ජලයත් ගලායන බිමත් ඉවුරු දෙකත් හැර ගඟක් ද නැත. මෙසේ වෙන්කර බලන කල්හි ගඟ නො ලැබෙන්නේ, එය මිනිසුන් ගේ සිත්හි මිස අන් තැනක සත්‍ය වශයෙන් නැති බැවිනි.
ගඟ මෙන් ම මමය - නුඹය යනාදීන් සලකන දෙය වූ ආත්මය ද, සත්‍ය වශයෙන් නො ලැබෙන්නක් බැවින්, ආත්ම වශයෙන් සලකන නාමරූප ධර්ම සමූහයක් බෙදා බැලූ කල්හි නැති වන්නේ ය. අතුරුදහන් වන්නේ ය. ඒවායේ ඉපදීම් බිඳීම් දෙක ගැන පරීක්‍ෂා කළ හොත් වඩාත් කාරණය පැහැදිලි වන්නේ ය.
බැලීම - ඇසීම - කෑම - බීම - කථාකිරීම යනාදිය සිදු කරන කර්තෘ කෙනකු ඇති විය යුතු ය. ‘ආත්මය ඒ කර්තෘය’ යනු බොහෝ දෙනා ගේ හැඟීම ය. ඒ හැඟීම ඇති වන්නේ බැලීම් ඇසීම් ආදිය සිදු වන සැටි නො දැනීම නිසා ය. මෙය තේරුම් ගැනීමට ඒවා සිදු වන සැටිය ගැන කල්පනා කළ යුතු ය. බෙරයට අතින් ගසන කල ගැසීමට අනුව කුඩා වූ හෝ මහත් හෝ හඬක් නැඟේ. ගැසිය හැකි බව මිස හඬ නංවන ශක්තියක් අතට නැත. පහර ඉසිලීමේ ශක්තිය මිස හඬ නැඟිය හැකි ශක්තියක් හෝ හඬ නැඟීමේ අදහසක් හෝ බෙරයෙහි ද නැත. ඒ හඬ බෙරයත් අතත් දෙකේ ගැටීම නිසා තෙමේ ම හටගත් දෙයකි. එහෙත් බෙරය හඬ නගති යි ලෝකයා සිතති. එමෙන් ඇසෙහි රූපච්ඡායා ගැටුණ කල්හි ඒ හේතුවෙන් ගැටුණු රූපයාගේ ආකාරය ගන්නා විඥානයක් පහළ වේ. එයින් ඒ රූපය දැනෙයි. පෙනීම ය යි කියනුයේ ද ඒ විඥානය පහළ වීමට ය. බෙර හඬ එකෙණෙහි නැති වන්නාක් මෙන් දැකීම නම් වූ ඒ විඥානය එකෙණෙහි ම නිරුද්ධ වන්නේ ය.
ඇසට බැලීමේ අදහසක් හෝ බැලිය හැකි ශක්තියක් හෝ නැත. ඇස බලන්නේ ද නැත. දැකීමය යි කියන විඥානයට ද ඇසෙහි රූප නො ගැටුණ හොත් ඉපදිය හැකි ශක්තියක් නැත. ඒ දැකීම නම් ඇසත් රූපත් අතර සිදු වන ගැටීම නිසා ඉබේ ම සිදු වන්නකි. මේ සිදුවීමේ ආකාරය නොදැනීම නිසා, “මම බලමි ය, මම දකිමි ය” යන හැඟීම ඇති වේ. දක්නා විඥානය පහළ වනුයේ ද ගැටීම සිදු වන සැටියට ය. වඩා දුර නො වූ ද වඩා ළං නො වූ ද තැනෙත තිබෙන, වඩාම කුඩා නො වූ ද රූපයක් ඇසෙහි ගැටුණ හොත් ඒ වස්තුවේ ආකාරය ඉතා හොඳින් ගන්නා වූ බලවත් වූ විඥානයක් පහළ වේ. ආලෝකය මඳ වුවහොත් ඒ ඒ පමණට දුබල වූ පෙනීමක් වේ. දුර වන කල්හි ද එසේම ය. අරමුණ ඉතා දුර වී නම් පෙනීම වනුයේ ඒ වස්තුවේ නියම ආකාරයට බොහෝ වෙනස් ආකාරයකිනි. අහසේ දුර තිබෙන ඉර හඳ තරුවල සැබෑ තත්ත්වය නො දත හැක්කේ එහෙයිනි.
අභ්‍යන්තරයෙහි බැලීම් කරන, බැලිය හැකි ශක්තියක් ඇති, මම ය කියා කෙනකු හෙවත් ආත්මය කියා දෙයක් ඇති නම් සෑම කල්හි ම ඒ ආත්මයට ඒ ඒ වස්තූන් ඇති සැටියට ම බැලිය හැකි විය යුතු ය. එසේ නොහැකි වනුයේ, ඇසේ හොඳ නොහොඳ බවේ සැටියටත්, ආලෝකයේ අඩු වැඩි කමේ සැටියටත් වස්තුව දුර වීම් ළං වීම් දෙකේ සැටියටත් නොයෙක් ආකාරයෙන් සිදු වන්නා වූ එය, ඉබේ ම සිදුවන්නක් මිස කෙනකු විසින් කරන්නක් නො වන බැවිනි. ඇසීම, සිතීම, කථා කිරීම, වැඩ කිරීම යනාදිය සිදු වන්නේ ද පෙනීම සිදු වන ලෙස කරන කෙනකු නැතිවම ය. කරුණු මෙසේ හෙයින් පෘථග්ජන ලෝකයා සලකන සැටියට සත්‍ය වශයෙන් ලැබෙන මම ය - නුඹ ය - ආත්මය කියා දෙයක් නැති බව දත යුතු ය. නැත්තා වූ ආත්මයක් ඇති සැටියට ගැනීම මිථ්‍යා දෘෂ්ටියකි. අත්තවාදූපාදානය යනු දැඩි වූ ඒ දෘෂ්ටිය ය.
හිමියකු නැති දෙයක් දුටු කල්හි එයට ආශාව ඇති වූ තැනැත්තේ ම එය අයිති කර ගනී. ආශාව ඇති නො වූ තැනැත්තේ ම එය හැර යයි. එමෙන් පඤ්චස්කන්ධය හොඳ ය කියා එය ගැන තෘෂ්ණාවක් ඇති වුවහොත් ඒ පඤ්චස්කන්ධය මම ය - ආත්මය ය කියා තදින් ගනී. තෘෂ්ණාව නූපන්න හොත් ඒ ගැනීම නො කරයි. තෘෂ්ණාව ඇති වුවහොත් ඒ ගැනීම සිදුවන බැවින් මේ පටිච්චසමුප්පාද දේශනයෙහි තෘෂ්ණාව නිසා අත්තවාදුපාදානය වන බව ද වදාළ සේක. දෘෂ්ටීන් අතුරෙන් ප්‍රධාන කොට සැලකිය යුතු දෘෂ්ටිය අත්තවාදුපාදාන නම් වූ මේ ස්වකාය දෘෂ්ටිය ය. එය නැති කර ගතහොත් එයින් ම දෘෂ්ටි සියල්ල ම දුරු වන්නේ ය. හැම දෘෂ්ටියක් ම නැඟ එන්නේ මේ ස්වකාය දෘෂ්ටියේ සම්බන්ධය ඇති ව එහි ශාඛාවක් වශයෙනි. ස්වකාය දෘෂ්ටිය ප්‍රධානය යි කියනුයේ එ හෙයිනි.
උපාදාන සතර අතුරෙන් කාමුපාදාන අත්තවාදුපාදාන දෙක බෞද්ධාබෞද්ධ සැමට ම සාධාරණ වශයෙන් ඇති වන්නේ ය. දිට්ඨුපාදාන සීලබ්බතුපාදාන දෙක ඇතිවනුයේ අබෞද්ධයන්ට පමණකි. ඒකාන්තයෙන් සසර දුකින් එතර කොට නිවනට පැමිණවීමේ සත්‍ය මාර්ගය දක්වන්නා වූ තථාගතයන් වහන්සේ ගේ අත්‍යුත්තම ධර්මය නො ඇසූ නොම දත් ඇතැම්හු, අලුත් පව් කිරීම නවත්වා, දුක් විඳීමෙන් කළ පව් ගෙවා අවසන් කොට ශුද්ධියට පැමිණෙන්නට සිතූහ. තිිසන් සතුන් හැසිරෙන සේ හැසිරීම ඔවුන් ගෙන් සමහරකු එය සඳහා ගත් මග ය. ගවයා ගේ ප්‍රකෘති චාරිත්‍රය ගෝශීල නමි. එනම් සතර පයින් යාම, සතර පයින් සිටීම, බිමම හිඳීම හා නිදීම, අතින් නො ගෙන බිම තිබෙන දෙය මුවෙන් ම කෑම, මලමුත්‍ර කොට පවිත්‍ර කර නො ගැනීම, නො බිනීම යන මේවා ගවයා ගේ ප්‍රකෘති චාරිත්‍රයෝ ය.
සර්වසම්පූර්ණත්වයෙන් හෝ ඒක දේශයකින් හෝ සමාදන් වූවහුගේ ඒ ප්‍රතිපත්තිය ගෝව්‍රත නමි. බල්ලා ගේ ප්‍රකෘති චාරිත්‍රය කුක්කුරශීල නම් වේ. එය සමාදන් වූවහුගේ ප්‍රතිපත්තිය කුක්කුරව්‍රත නමි. බොහෝ දුක් ගෙන මේ ව්‍රතයන් රක්‍ෂා කළේ වී නමුත් එයින් ඔවුන් අදහස් කරන ශුද්ධිය හෝ දේවත්වය-බ්‍රහ්මත්වය හෝ කිසි කලෙක ඔවුනට නො ලැබෙන්නේ ය. කුක්කුරව්‍රතය සමාදන් ව රක්‍ෂා කළ කෝරක්ඛත්තිය නම් නිගණ්ඨයා සතර අපායෙන් එකකට අයත් වූ කාළකඤ්ජික අසුර නිකායෙහි උපන් බව ‘දීඝනිකායේ’ පාථික සූත්‍රයෙහි දක්වා තිබේ.
මේ ගෝශීල ගෝව්‍රතාදියෙන් මරණින් මතු නරකයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ උපදනා බව ‘මජ්ඣිම නිකායේ’ කුක්කුරවතිය සූත්‍රයෙහි ද වදාරා තිබේ. ගෝශීල ගෝව්‍රතාදියෙන් ශුද්ධියක් ලැබේය යි ගැනීම වැරදි ගැනීමක් බැවින් මිථ්‍යාදෘෂ්ටියකි. ගෝශීල ගෝව්‍රත කුක්කුරශීල කුක්කුරව්‍රතාදියෙන් ශුද්ධියක් වන බව පරම සත්‍යයක් කොට තදින් ගැනීම නැතහොත් එසේ ගන්නා වූ මිථ්‍යා දෘෂ්ටිය සීලබ්බතුපාදානය යි. පඤ්චස්කන්ධයට ඇලුම් නො කරන්නකුට මෙම දෘෂ්ටිය ඇති නො වේ. ඇති වනුයේ පඤ්චස්කන්ධයට ඇලුම් කොට එය ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය සැපයෙන් යුක්තකිරීමේ ක්‍රම නුනුවණින් සොයන්නහුට ය. තෘෂ්ණාව නිසා සීලබ්බතුපාදානය ඇති වන බව වදාළේ එහෙයිනි.
ලෝකයේ බොහෝ දෘෂ්ටීහු ඇතහ. බ්‍රහ්මජාල සූත්‍රයෙහි දෘෂ්ටි දෙසැටක් දක්වා තිබේ. අන්තවාදුපාදාන සීලබ්බතුපාදාන දෙකට නො ගැනෙන්නා වූ, ‘කිසිදු සැකයක් නැතිව, අන් ඒවා හිස් ය, මෙය ම පරම සත්‍යය’ යි දැඩි කොට ගන්නා වූ සකල දෘෂ්ටීහු ම දිට්ඨුපාදාන නම් වේ. මෙය ම සත්‍යය යි දැඩි කොට ගැනීමක් නැති වැරදි හැඟීම්, දෘෂ්ටි වුව ද උපාදාන සංඛ්‍යාවට නො ගැනෙයි.
ධම්මසංගණී ප්‍රකරණයෙහි :-
තත්ථ කතමං දිට්ඨුපාදානං? නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්ති.
යනාදීන් මිථ්‍යාදෘෂ්ටි දශයක් දිට්ඨුපාදානය දක්වන තන්හි ස්වරූපයෙන් උද්ධරණය කොට දක්වා තිබේ.
ඒ දශය නම් :-
මෙම දෘෂ්ටි සියල්ල ම ඇතිවන්නේ පඤ්චස්කන්ධයට ඇළුම් කොට නුනුවණින් එය සැපවත් කිරීමේ ක්‍රම සොයන කල්හි ය. එබැවින් තෘෂ්ණාව නිසා දිට්ඨුපාදානය ද ඇති වේය යි කියනු ලැබේ.
“තත්ථ කතමෝ උපාදානපච්චයා භවෝ? භවෝ දුවිධේන, අත්ථි කම්මභවෝ, අත්ථි උපපත්තිභවෝ. තත්ථ කතමෝ කම්මභවෝ? පුඤ්ඤාභිසංඛාරෝ අපුඤ්ඤාභිසංඛාරෝ ආනෙඤ්ජාභිසංඛාරෝ, අයං වුච්චති කම්මභවෝ, සබ්බම්පි භවගාමිකම්මං කම්මභවෝ. තත්ථ කතමෝ උපපත්තිභවෝ? කාමභවෝ රූපභවෝ අරූපභවෝ, සඤ්ඤාභවෝ අසඤ්ඤාභවෝ නේවසඤ්ඤානාසඤ්ඤාභවෝ, ඒකවෝකාරභවෝ, චතුවෝකාරභවෝ, පඤ්චවෝකාරභවෝ. අයං වුව්චති උපපත්තිභවෝ, අයං වුච්චති උපාදානපච්චයා භවෝ.”
මෙහි තේරුම මෙසේය :-
“උපාදාන හේතුවෙන් හටගන්නා භවය කවරේද? භවය දෙපරිද්දකින් දත යුතු ය. කර්මභවයෙක් ද ඇත. උපපත්තිභවයෙක් ද ඇත. එහි කර්මභවය කවරේ ද? පුණ්‍යාභිසංස්කාරය අපුණ්‍යාභිසංස්කාරය ආනෙඤ්ජාභිසංස්කාරය යන මෙය කර්මභවය යි කියනු ලැබේ. සකල භවගාමීකර්මය කර්මභවය ය. එහි උපපත්තිභවය කවරේ ද? කාමභවය, රූපභවය, අරූපභවය, සංඥාභවය, අසංඥාභවය, නේවසංඥානාසංඥාභවය, ඒකවෝකාරභවය, චතුවෝකාරභවය, පඤ්චවෝකාරභවය යන මෙය උපපත්තිභවය යි කියනු ලැබේ. මෙය උපාදාන හේතුවෙන් හටගන්නා භවය”යි කියනු ලැබේ.
කියන ලදුයේ උපාදාන ප්‍රත්‍යයෙන් වන්නා වූ භවය විභංගපාළියෙහි දැක්වුණු ආකාරය යි. ඒ භවය කොටින් සලකා ගත යුත්තේ මෙසේ ය. සත්ත්වසන්තානයෙහි උපාදානයන් ඇති වී ඒවා ලියලන්නට වැඩෙන්නට වූ කල්හි ඒවා නිසා තවත් දෙයක ඇති වීමක් වැඩීමක් වන්නේ ය. උපාදානයන් නිසා ඇති වන ඒ දෙය භව නම් වේ. එනම් ප්‍රාණඝාතාදි වශයෙන් දශප්‍රභේද වූ අකුශලය ය, දානාදි වශයෙන් දශප්‍රභේද වූ කුශලය ය, කුශලාකුශලයන් නිසා මතු ඒ ඒ භූමිවල හටගන්නා ස්කන්ධයෝ ය යන මොවුහු ය. එයින් ‘දශප්‍රභේද වූ අකුශලය, දශප්‍රභේද වූ ලෞකික කුශලය’ යි කියනු ලබන පින් පව් දෙකට ‘කර්‍මභවය’ යි කියනු ලැබේ. ඒ කර්මයන් කළ නිසා ඇතිවන්නා වූ සත්ත්වසන්තානයන්ට අයත් වූ ස්කන්ධයන්ට ‘උපපත්තිභවය’ යි කියනු ලැබේ.
උපපත්තිභවය: කාමභවය - රූපභවය - අරූපභවය යි තෙවැදෑරුම් වේ. සංඥාභවය, අසංඥාභවය, නේවසංඥානාසංඥාභවය යි තවත් ආකාරයකින් තෙවැදෑරුම් වේ. ඒකවෝකාරභවය, චතුවෝකාරභවය, පඤ්චවෝකාර භවය යි තවත් ආකාරයකින් තෙවැදෑරුම් වේ. මේ තුන් ආකාරයෙන් බෙදී යන භව සියල්ල එක් කොට ගත්විට භව නවයක් වේ.
අපාය සතරය, මිනිස් ලොවය, දෙව්ලොව සයය යන එකොළොස් භූමියෙහි උපදනා සත්ත්වයන්ගේ උපාදින්නස්කන්ධයෝ කාමභව නම් වෙති. සොළොස් රූපභූමියෙහි උපදනා සත්ත්වයන් ගේ උපාදින්නස්කන්ධයෝ රූපභව නම් වෙති. අරූතල සතරෙහි හැසිරෙන සත්ත්වයන්ගේ උපාදින්නස්කන්ධයෝ අරූපභව නම් වෙති. කාමභූමි එකොළොසය, අසංඥභූමිය හැර ඉතිරි රූපාවචර භූමි පසළොසය, යට අරූපභූමි තුනය යන මේ භූමීන්හි උපදනා සත්ත්වයන් ගේ උපාදින්නස්කන්ධයෝ සංඥාභව නම් වෙති. අසංඥභූමියෙහි උපදින්නවුන් ගේ උපාදින්නස්කන්ධයෝ අසංඥභව නම් වෙති. භවාග්‍රය යි කියනු ලබන අන්තිම අරූපභූමියෙහි උපදින්නවුන් ගේ උපාදින්නස්කන්ධයෝ නේවසංඥානාසංඥාභව නම් වෙති.
‘වෝකාර’ යනු ස්කන්ධයන්ට ම නමෙකි. අසංඥභූමියෙහි ඇත්තේ රූපස්කන්ධය පමණෙකි. එබැවින් එහි සත්ත්වයන් ගේ උපාදින්නස්කන්ධයෝ ඒකවෝකාර භව නම් වෙති. අරූප භූමීන්හි ඇත්තේ නාමස්කන්ධ සතර පමණෙකි. එබැවින් ඒවායේ සත්ත්වයන් ගේ උපාදින්නස්කන්ධයෝ චතුවෝකාරභව නම් වෙති. පඤ්චස්කන්ධය ඇති ඉතිරි භූමීන්හි සත්ත්වයන් ගේ උපාදින්නස්කන්ධයෝ පඤ්චවෝකාර භව නම් වෙති. සත්ත්වසන්තානයට අයත් ස්කන්ධයන් අතර කර්මයෙන් හටගන්නා කොටසක් හා අන්‍ය හේතූන්ගෙන් හටගන්නා කොටසක් ද ඇත්තේ ය. උපාදින්නස්කන්ධයයි කියන ලදුයේ කර්මයෙන් හට ගන්නා ස්කන්ධයන්ට ය. ‘උපාදානපච්චයා භවෝ’ යන මෙහි ගනු ලබනුයේ කර්මයෙන් හටගන්නා ස්කන්ධයෝ ය.
උපාදානයන් නිසා භවය ඇතිවන සැටි මතු දක්වන පරිදි දත යුතු ය. කර්මභව උපපත්තිභව දෙකින් කර්ම භවය අකුශලකර්මභවය කුශලකර්ම භවය යි දෙවැදෑරුම් වේ. තෘෂ්ණාව රූපතෘෂ්ණාදි වශයෙන් සවැදෑරුම් වන්නා සේ ම කාමුපාදානය ද, රූපකාමුපාදානාදි වශයෙන් සවෑදරුම් වන බව ද සැලකිය යුතු ය. මස් රසයට ලොල් වූ තැනැත්තා හට නිතරම එය අනුභව කරන්නට සිත් වෙයි. ඔහු ඒ නිසා ඌරු - කුකුළු - ගවාදි සතුන් මරන්නටත් මරවන්නටත් පටන්ගනී. මස් රසයට ආශාව කාමුපාදානය යි. ඔහු ගේ සතුන් මැරීම මැරවීම ඒ කාමුපාදානයේ මෙහෙයීමෙන් සිදු වන්නකි. ඇතැම්හු තමන් ගේ ගොවිතැන් පාලු කරන සතුන් ද, තවත් තමන් ඇලුම් කරන වස්තූන් නසන සතුන් ද මරා දමති. සමහරු තමන් ඇලුම් කරන වස්තූන් ලබාගනු පිණිස මුදල් සැපයීම සඳහා සතුන් මරති. සමහරු අඹුදරුවන් රකිනු සඳහා සතුන් මරති. ඒ ප්‍රාණඝාත කර්ම සියල්ල ම සිදු වන්නේ කාමුපාදානය නිසා ය.
ඇතැම් මිථ්‍යාදෘෂ්ටිකයෝ දෙවියන් සතුටුකොට දෙව්ලොව යන බලාපොරොත්තුවෙන් දෙවියන් පිදීම සඳහා සතුන් මරති. ඇතැම්හු දෙවියන් සතුටු කරවනු පිණිස දන්දීම සඳහා සතුන් මරති. ඇතැම්හු ‘සත්ත්වයෝ මනුෂ්‍යයා ගේ ප්‍රයෝජනය පිණිස දෙවියන් විසින් මවන ලද්දෝ ය’ යි සලකා ගෙන සතුන් මරති. ඇතැම්හු මහායාග පවත්වනු පිණිස බොහෝ සතුන් මරති. මරවති. මේ දිට්ඨුපාදානය නිසා ප්‍රාණඝාත කර්මය සිදුවන සැටි ය.
ඇතැම්හු ආත්මය කල් පැවැත්ම සඳහා, නිරෝග කරනු සඳහා, බලවත් කරනු සඳහා සතුන් ගේ බිත්තර කති. කුකුළු - වටු ආදි සතුන් මරා කති. මරවා ගනිති. ආත්මය ආරක්‍ෂා කරනු පිණිස උකුණන් මකුණන් මැස්සන් මදුරුවන් මරති. බල්ලන් සර්පයන් මරති. තවත් සතුන් ද මරති. අඹුදරුවන් ගේ ආත්මාරක්‍ෂාව සඳහා ද එසේ කරති. ඒ අත්තවාදුපාදානය නිසා ප්‍රාණඝාතකර්මය සිදුවන ආකාරයයි. මෙසේ උපාදානයන් ගේ මෙහෙයීමෙන් සත්ත්වයා විසින් ප්‍රාණඝාත කර්මය කරනු ලැබේ. අදත්තාදානාදි අකුශලයන්, උපාදානයන් නිසා කරන සැටි ද කියන ලද්දට අනුව කල්පනා කර ගත යුතු ය. ග්‍රන්ථය මහත් වන බැවින් මෙහි නො දක්වනු ලැබේ. අකුශලකර්මදශය අතුරෙන් කාමමිථ්‍යාචාරය හා අවිද්‍යාව කාමුපාදානය නිසාම සිදුවන බව ද, මිථ්‍යාදෘෂ්ටි කර්මය ඉතිරි උපාදාන තුන නිසා සිදු වන බව ද මෙහි ලා විශේෂයෙන් සැලකිය යුතු ය.
දන් දීමෙන් මිනිස්ලොව පොහොසත් පවුල්වල - සිටු පවුල්වල - රජ පවුල්වල ඉපද ප්‍රණීත ආහාරපාන - වස්ත්‍ර - යාන - වාහන වාසස්ථානාදිය ලැබිය හැකි බව හා දෙව්ලොව ඉපද එයටත් වඩා ප්‍රණීත කාමසම්පත් ලැබිය හැකි බව ද අසන කල්හි; බෙර හඬ ඇසෙන කල්හි පිස්සුව ඇවිස්සෙන්නාක් මෙන්, කාමුපාදානය ඇති තැනැත්තා කෙරෙහි ඒ කාමුපාදානය නැඟ නැඟ එන්නට පටන්ගනී. ගින්නකට තෙල් ඉසින කල්හි එය බුර බුරා නැඟ එන්නාක් මෙන්, කාමුපාදාන ගින්න බුර බුරා නඟින්නට පටන් ගනී. එයින් මෙහෙයන ලද තැනැත්තා මිනිස් ලොව හා දෙව්ලොව කාමයන් ලබනු පිණිස ආහාර පාන වස්ත්‍රාදිය දන් දෙයි. මල්පූජා පහන් පූජාදිය කරයි. වතු කුඹුරු ආදිය පුදයි. විහාර - දාගැබ් - සංඝාවාස - පාසල් - අම්බලම් - ලිං - පොකුණු ආදිය කරවයි. සිල් රැකි කල්හි ඒ පිනෙන් ඒවා ලැබිය හැකි බව ඇසූ කල්හි, කාමුපාදානය නැඟී එයින් මෙහෙයන ලදුව, පන්සිල් අටසිල් දසසිල් ආදි සිල් රකී. සමහරවිට පැවිදිව ද සිල් රකී. භාවනාමය කුශලයෙන් ඒවා ලැබිය හැකි බව ඇසූ කල්හි භාවනාවෙහි යෙදෙයි. මේ කාමුපාදානය නිසා දාන ශීල භාවනාමය කුශලයන් ඇති වන ආකාරය යි.
දානාදි පින්කම්වලින් දෙවියන් සතුටු කරවීමෙන් කියන ලද සම්පත් ලැබිය හැකිය යන දෘෂ්ටිය ඇත්තෝ කාමුපාදාන දිට්ඨුපාදාන දෙකින් ම මෙහෙයන ලදුව දන් දිම්, සිල් රැකීම් භාවනාවෙහි යෙදීම් කරති. ඒ කාමුපාදාන දිට්ඨුපාදාන දෙක නිසා දාන ශීල භාවනා සංඛ්‍යාත කුශල කර්මභවය ඇති වන ආකාරය යි.
දන්දීම් ආදි පින්වලින් දිව්‍යලෝක - මනුෂ්‍යලෝක දෙක්හි, දීර්ඝායු ඇති, වර්ණසම්පත්තිය ඇති, නිරෝග බව ඇති, තේජස් ඇති, අධිපති බව ඇති, මනා නුවණ ඇති, සිහිය ඇති, ධෛර්‍ය්‍යය ඇති, උසස් ආත්මයන් ලැබිය හැකි බව ඇසූ කල්හි, අත්තවාදුපාදාන ගින්න නගින්නට පටන් ගනී. එයින් මෙහෙයන ලද තැනැත්තා උසස් ආත්මයන් ලබනු සඳහා දන්දීම කරයි. සිල් රැකීම කරයි. භාවනා කරයි. රූපාරූප බ්‍රහ්මයන් ගේ ආත්මභාව සම්පත්තිය ඇසූ කල්හි එයට පැමිණීම සඳහා ගිහිගෙය හැර පැවිදිව සිල් රකියි. ධ්‍යාන වඩයි. මේ අත්තවාදුපාදානය නිසා දාන ශීල භාවනා සංඛ්‍යාත කුශලකර්මභවය ඇත වන ආකාරය යි.
මෙහි දක්වන ලදුයේ ඒ ඒ උපාදානයන් නිසා ඒ ඒ කුශලාකුශල කර්‍මයන් බොහෝ සෙයින් ඇති වන ආකාරය යි. පෘථග්ජන පුද්ගලයා පිස්සකු වැනි ය. ඔහු කවර උපාදානයක් නිසා වුව ද, පින්පව්වලින් කවරක් වුව ද නො කරන්නේ නො වේ. එබැවින් උපාදාන සතර ම නිසා කුසල් වූ ද අකුසල් වූ ද සැම කර්‍මයක් ම සිදු විය හැකි බව සාමාන්‍යයෙන් කිය යුතු ය.
කුඹුරක හටගන්නා වී වලින් එක් කොටසක් බොල් වේ. කොටසක් මතු ගොයම ඇති කිරීමේ ශක්තිය වූ බීජශක්තිය ඇත්තා වූ යහපත් වී වේ. එමෙන් උපාදානයන් නිසා සත්ත්වයන් විසින් කරන කර්මයන්ගෙන් එක් කොටසක් මතු උත්පත්තියක් ඇති කිරීමෙහි සමත් බවක් නැත්තා වූ දුබල කර්මයෝ වෙති. කොටසක් අනාගතයෙහි සත්ත්වයා ඒ ඒ භවයට පැමිණවීමේ ශක්තියෙන් යුක්ත වූ බලවත් කර්මයෝ වෙති. දුබල පින් පව්වලට කර්මය යි ද, අනාගතයෙහි ප්‍රතිසන්ධි දානයට සමත් වූ බලවත් කර්‍මයන්ට කර්‍මපථය යි ද කියනු ලැබේ. දුබල කර්මයෝ අභාවප්‍රාප්ත වෙති. බලවත් කර්මයෝ විපාක බවට පැමිණීම් වශයෙන් අනාගතයෙහි සත්ත්වයන් ඒ ඒ භවයට පමුණුවති. එහෙයින් කාමභවයෙහි ඉපදීමට හේතුවන කර්මයෙන් කාමභවය ඇති කරනු ලැබේ. රූපභවයෙහි ඉපදීමට හේතුවන කර්මයෙන් රූපභවය ඇති කරනු ලැබේ. අරූපභවයෙහි ඉපදීමට හේතු වන කර්මයෙන් අරූපභවය ඇති කරනු ලැබේ. සංඥභවාදීහු කියන ලද භවයන්ගේ ම ප්‍රභේදයෝ ය. මෙසේ උපාදාන හේතුවෙන් ඇතිවන කර්මභවය නිසා නව වැදෑරුම් උපපත්තිභවය නැවත නැවතත් ඇති වේ.
උපපත්තිභවය කර්ම හේතුවෙන් හටගන්නා කල්හි “උපාදානපච්චයා භවෝ” යි ‘කර්මභව උපපත්තිභව දෙක ම උපාදාන හේතුවෙන් වේ ය’ යි වදාළේ කුමක් නිසා ද? යන ප්‍රශ්නය මෙ තැන්හි පහළ වේ. එහි කාරණය මෙසේ දත යුතු.
ක්ලේශයෝ වනාහි සා පිපාසාවන් මෙන් සත්ත්ව සන්තානය දවන්නා වූ තවන්නා වූ ස්වභාවයෝ ය. සාගින්න නිවාගැනීමට ආහාරය ද, පිපාසය නිවා ගැනීමට පානවර්ග ද ඇතුවාක් මෙන් ඒ ඒ ක්ලේශයන් නිසා වන දැවිල්ල තැවිල්ල සන්සිඳවා ගැනීමට වුවමනා ක්ලේශාහාර කොටසක් ද ඇත්තේ ය. උපාදානයෝ ද අන් නමකින් කියන ක්ලේශයෝ ය. ඒවායේ ද සන්තානය දවන තවන ස්වභාවය ඇත්තේ ය. කාමුපාදානය යනු රූපශබ්දාදි කාමවස්තූන් පැතීම ය. එය එක්තරා දැවීමකි, තැවීමකි. ඒ දැවිල්ල නො ඉවසිය හැකි බැවින් සන්තානයෙහි කාමුපාදානය නැගී සිටි සත්ත්වයා එය නිවාගනු පිණිස කාමවස්තූන් සොයන්නේ ය. කාමුපාදාන ගින්න නිවන, සන්සිඳවන දෙය නම් කාමවස්තූහු ය. කාමවස්තු කාමුපාදානයේ ආහාරය යි.
අත්තවාදුපාදානය භවසම්පත්තිය පිළිබඳ වූවකි. ඒ අත්තවාදුපාදාන ගින්නට ආහාරය භවසම්පත්තිය ය. එබැවින් උපාදානයන් නැගී අවුත් ඒ ගින්නෙන් දැවෙන තැවෙන සත්ත්වයා සොයන පතන දෙය නම් කාම වස්තු හා භව සම්පත්තිය ය. ඔහු කාමවස්තූන් හා භවය ලබාගැනීමට, ඇතිකර ගැනීමට උත්සාහ කරයි. කර්මභවය යනු ඒ කරන උත්සාහය යි. එය අප්‍රධාන දෙයකි. උපාදනයන්ට ප්‍රධාන වශයෙන් වුවමනා දෙය භව සම්පත්තිය වූ උපපත්ති භවය යි. කර්මය උපපත්ති භවයට හේතු වතුදු උපාදානය ම උපපත්ති භවය ඇති වීමේ මූලික හේතුව වේ. එබැවින් උපාදානය නිසා කර්මභව උපපත්තිභව දෙක ම ඇති වේ ය යි කීම යුක්ති යුක්තය.
‘අවිජ්ජාපච්චයා සංඛාරා’ යනුවෙන් වරක් දක්වන ලද කර්මය ම නැවත උපාදානයන් ගේ ඵල වශයෙන් දැක්වීම නිරර්ථක නො වේ ද? යනු මෙහි ඇති වන තවත් ප්‍රශ්නයකි. මේ පටිච්චසමුප්පාද දේශනය ජාති තුනක් හා සම්බන්ධය. “අවිජ්ජාපච්චයා සංඛාරා” යන තන්හි දක්වන ලද කර්මය අතීත ජාතියට අයත් වූ වර්තමාන භවය ඇතිවීමට හේතු වූ කර්මය යි. “උපාදානපච්චයා භවෝ” යන මෙහි දක්වන කර්මය වර්තමාන භවයට අයත් වූ අනාගත භවයට හේතු වන කර්මය යි. අතීත භවයෙන් වර්තමාන භවයට පැමිණීම හා වර්තමාන භවයෙන් අනාගත භවයට පැමිණීමත් දක්වන මේ දේශනයෙහි දෙතැනක කර්මය දැක්වීම කළ යුතු ම ය. එබැවින් කර්මය දෙතැනක දැක්වීම නිෂ්ඵල නො වන බව දත යුතු ය.
“තත්ථ කතමා භවපච්චයා ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභවෝ ආයතනානං පටිලාභෝ. අයං වුච්චති භවපච්චයා ජාති.”
මේ විභංගප්‍රකරණයෙහි භවප්‍රත්‍යයෙන් හටගන්නා ජාතිය විස්තර කර තිබෙන ආකාරය යි. එහි තේරුම :- “එහි ජාතිය කවරේ ද? ඒ ඒ සත්ත්වයන් ගේ ඒ ඒ සත්ත්ව නිකායයෙහි යම් පළමු කොට ඉපදීමක් වේ ද? සම්පූර්ණ ඉපදීමක් වේ ද, මවු කුසයට ඇතුළු වීමක් වේ ද, ප්‍රකටව ඉපදීමක් වේ ද, ස්කන්ධයන් ගේ පහළ වීමක් වේ ද, ආයතනයන් ගේ පහළවීම් වශයෙන් ලැබීමක් වේ ද, මෙය භව ප්‍රත්‍යයෙන් වන්නා වූ ජාතිය යි කියනු ලැබේ ය” යනු යි. මෙහි කෙටි තේරුම, ඒ ඒ භවයෙහි උපදනා සත්ත්වයන්ගේ පළමු කොට ඉපදීම ජාතියය යනු යි. තවත් ක්‍රමයකින් කියතහොත් ඒ ඒ භවවල පළමු කොට ස්කන්ධයන් පහළවීම ජාතියය යනු යි. මේ පළමු කොට ඉපදීඹ සම්බන්ධයෙන් කිය යුතු විස්තරය, “සංඛාරපච්චයා විඤ්ඤාණං” යන්න විස්තර කිරීමේ දී කියන ලදී.
භවප්‍රත්‍යයෙන් වන්නා වූ මේ ජාතිය උපපත්තිභවයේ ම කොටසකි. එබැවින් ජාතියේ හේතුව වශයෙන් උපපත්තිභවය නො ගත යුතු ය. භව දෙකින් ජාතියට හේතුවන්නේ කර්ම භවය පමණෙකි. එබැවින් “උපාදාන පච්චයා භවො” යන තන්හි භව ශබ්දයෙන් භව දෙක ම නො ගනු ලැබේ. එයින් ගනු ලබන්නේ කර්ම භවය පමණකි.
උපාදානයන් නිසා කුශලාකුශල කර්ම කළ කල්හි ඒ ඒ කර්මයන් ගේ ශක්තියේ හා ස්වභාවයේ සැටියට කාමභවාදි ඒ ඒ භවයෙහි සත්ත්වයාගේ නැවත නැවත ඉපදීම වූ ජාතිය වේ. සත්ත්වයාගේ උත්පත්තියට පූර්ව භවයේ කළ කර්මය හේතුවන බව වනාහි සාමාන්‍ය ලෝකයාට නො පෙනෙන ගුප්ත කරුණකි. සාමාන්‍ය ජනයා හට එය සිතා ගත හැක්කේ අනුමානයෙනි.
සත්ත්වෝත්පත්තියට කර්මය හේතු වන බව අනුමානයෙන් සලකා ගැනීමට ඇති කරුණු අතුරෙන් සත්ත්වයන් ගේ නානාත්ත්වය ප්‍රධාන කරුණෙකි. මේ සත්ත්වයන් ගෙන් ඇතමකුට ලෝභය උත්සන්න ය. ඇතමකුට ද්වේෂය උත්සන්නය, ඇතමකුට මෝහය උත්සන්නය, ඇතමකුට මෛත්‍රිය උත්සන්නය, ඇතමකුට ඥානය උත්සන්න ය. මෙසේ උත්සන්න වන්නාවූ ද හීන වන්නා වූ ද චෛතසික ධර්මයන් ගේ වශයෙන් සත්ත්වයන් අතර බොහෝ වෙනස්කම් දක්නා ලැබේ. ආයුෂය ධනය සැපදුක්ය යනාදියෙන් සත්ත්වයන් අතර බොහෝ වෙනස්කම් දක්නා ලැබේ. සත්ත්වයාගේ උත්පත්තියට හා වැඩීමට ද ජීවත්වීමට ද හොඳ නරක ගති ගුණ ඇති වීමට ද තිබිය යුතු ප්‍රකට හේතු වූ, මවුපියන් ගේ ශුක්‍රශ්‍රෝණිත ධාතු - සෘතු - ආහාර - ව්‍යායාම - උගෙනීම - අවවාදානුශාසනා යන මේවායේ වෙනස්කම් ඇති තන්හි වන වෙනස්කම් ගැන කිය යුත්තක් නැත. ඒවා සම වූ සත්ත්වයන් අතර ද වෙනස් කම් අඩුවක් නැතිව ම දක්නා ලැබේ.
එක පියකුට දාව එක මවක කුසයෙහි එකවර පිළිසිඳ ගෙන එකවර උපන්, එක ම ආහාරයකින් එක ම ගෙයක වැඩුණු, එක ම උගෙනීමක් එක ම අනුශාසනයක් ලත්, එක ම පුද්ගල කොටසක් ඇසුරු කළ නිඹුල් දරු දෙදෙනා අතර වුව ද කියන ලද වෙනස්කම් දක්නා ලැබේ. ඒ කාරණයට අනුව සිතා බලන කල්හි සත්ත්වයාගේ උත්පත්තියට, දක්නා ලැබෙන හේතූන්ගෙන් අන්‍ය වූ නො පෙනෙන තවත් හේතුවක් තිබිය යුතු බව දත හැකි ය. පිළිගත හැකි ය. ඒ නො පෙනෙන හේතුව අනෙකක් නොව පූර්ව ජන්මවල දී කළ කර්මයෝ ය. සිත ඉතා විචිත්‍ර ය. ලොව ඇති අන් සැම දෙයටම වඩා විචිත්‍රය. කර්මය ද සිත පිළිබඳ වූවකි. එබැවින් චිත්තවිචිත්‍රත්ත්වයා ගේ වශයෙන් කර්මය විචිත්‍ර වේ. උත්පත්තියට හේතු වූ කර්මයා ගේ විචිත්‍රත්ත්වයෙන් සත්ත්වයන් ගේ විචිත්‍ර බව වේ.
ඒ මෙසේ ය:-
යම් කිසිවකු ගේ සන්තානයෙහි උත්පත්තියට හේතු වන කර්මයක් කරන අවස්ථාවේ දී ලෝභය බලවත් වේ ද, අලෝභය දුබල වේ ද, අද්වේෂාමෝහයෝ බලවත් වෙත් ද, ද්වේෂ මෝහයෝ දුබල වෙත් ද ඔහුගේ දුබල අලෝභය බලවත් ලෝභය මැඩපැවැත්වීමට නො සමත් වේ. බලවත් ද්වේෂ මෝහයන් මැඩ පැවැත්වීමට සමත් වෙති. ලෝභය මැඩලීමට නො සමත් දුබල අලෝභ හේතුවෙන් යුක්ත වූ ඒ කර්මයෙන් ඒ පුද්ගලයා යම්කිසි භවයක උපන් කල්හි මෛත්‍රිය ඇති ක්‍රෝධ කිරෟීම් අඩු වූ තියුණු නුවණ ඇත්තා වූ ලෝභය අධික පුද්ගලයෙක් වේ. එ බඳු කර්මයකින් උත්පත්තිය ලැබූ පුද්ගලයෝ ධර්‍මශාස්ත්‍ර උගෙනීමෙහි සමත්හු වෙති. පණ්ඩිත වෙති. එහෙත් ඔවුහු කිසිවකුට කිසිවක් නො දෙන නිතර ම රැස්කිරීමට, අනුන්ගෙන් ගැනීමට ම උත්සාහ කරන ලෝභීහු වෙති.
යමකු හට කර්මය කරන අවස්ථාවේදී ලෝභ ද්වේෂ දෙක බලවත් වේ ද, අලෝභාද්වේෂයෝ දුබල වෙත් ද, ප්‍රඥාව බලවත් වේ ද, මෝහය දුබල වේ ද, ඔහු ඒ කර්මයෙන් යම්කිසි තැනක උපන් කල්හි ලෝභී වූ ද කෘර වූ ද තියුණු නුවණ ඇත්තා වූ ද පුද්ගලයෙක් වේ. එබඳු පුද්ගලයෝ ධර්මශාස්ත්‍රයන් උගෙන පණ්ඩිත වුව ද ඒ ගති පවත්වති, ලාභයක් ලැබිය හැකි කල්හි කොතෙක් මහත් අපරාධයක් වුව ද කරන්නට මැලි නො වෙති.
යමකුට කර්මය රැස් කරන කල්හි ලෝභ මෝහ යන දෙක බලවත් වේ ද, අලෝභාමෝහ දෙක දුබල වේ ද අද්වේෂය බලවත් වේ ද ද්වේෂය මඳ වේ ද, ඒ තැනැත්තා ඒ කර්මයෙන් උපන් කල්හි ලෝභී වූ ද මෝඩ වූ ද මෘදු ගති ඇති පුද්ගලයෙක් වේ.
යමකුට කර්මය කරන අවස්ථාවේදී ලෝභ ද්වේෂ මෝහ තුන ම බලවත් වේ ද, අලෝභය අද්වේෂය අමෝහය යන තුන දුබල වේද, හෙතෙමේ ඒ කර්මයෙන් උපන් කල්හි ලෝභී වූ ද නපුරු වූ ද මෝඩයෙක් වේ. ලෝකයෙහි හොඳට ම නරක මිනිසුන් වන්නේ එබඳු කර්මවලින් උපන් පුද්ගලයෝ ය.
යමකුට කර්මය කරන කල්හි අලෝභය හා ද්වේෂ මෝහ දෙක බලවත් වේ ද, ලෝභය හා අද්වේෂ අමෝහ දෙක දුබල වේද, ඒ පුද්ගලයා ඒ කර්මයෙන් උපන් කල්හි දිව්‍යමය ආරම්මණයක් දුටු කල්හි දු කලබල නො වන්නා වූ විකෘතියට නො පැමිණෙන්නේනා වූ රාගය මඳ වූ කිපෙන සුළු වූ මෝඩ පුද්ගලයෙක් වේ.
යමකුට කර්මය කරන කල්හි අලෝභය අද්වේෂය යන කුසල් මුල් දෙක හා මෝහය ද බලවත් වේ ද, ලෝභය ද්වේෂය අමෝහය යන තුන දුබල වේ ද, හෙතෙමේ ඒ කර්මයෙන් උපන් කල්හි දෙන ස්වභාවය හා නො රැස් කරන ස්වභාවය ද ඇති මෘදු ද වූ නුවණ මඳ වූ පුද්ගලයෙක් වේ.
යමකුට කර්මය කරන කල්හි අලෝභය ද්වේෂය අමෝහය යන මේවා බලවත් වේ ද ලෝභය අද්වේෂය මෝහය යන මේවා දුබල වේ ද, ඒ තැනැත්තා ඒ කර්මයෙන් උපන් කල්හි නිර්ලෝභ වූ ද නුවණැත්තා වූ ද කිපෙන සුළු වූ ද පුද්ගලයෙක් වේ.
යමකුට කර්මය කරන අවස්ථාවේ දී අලෝභාද්වේෂාමෝහ තුන ම බලවත් වේ ද, ලෝභය ද්වේෂය මෝහය යන මේවා දුබල වේ ද, ඒ තැනැත්තා ඒ කර්මයෙන් උපන් කල්හි නිර්ලෝභී වූ ද මෘදු වූ ද තියුණු නුවණ ඇත්තා වූ ද, ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වේ. එබඳු පුද්ගලයෝ ලෝකයෙහි දුර්ලභය හ. තවත් නොයෙක් ආකාරවලට සත්ත්වයන් කර්ම හේතුවෙන් බෙදෙන සැටි චූලකම්ම විභංග සූත්‍රාදියෙන් දත යුතු.
ජාතිප්‍රත්‍යයෙන් හටගන්නා වූ ජරාමරණාදි දුක් සත විභංග ප්‍රකරණයේ දක්වා තිබෙන්නේ මෙසේය.
“තත්ථ කතමං ජාතිපච්චයා ජරාමරණං? අත්ථි ජරා, අත්ථි මරණං, තත්ථ කතමා ජරා? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජිරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං වුච්චති ජරා. තත්ථ කතමං මරණං? යා තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති වචනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කලේඛරස්ස නික්ඛේපෝ ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ ඉදං වුව්චති මරණං, ඉති අයං ච ජරා ඉදං ච මරණං, ඉදං වුච්චති ජාතිපච්චයා ජරා මරණං”
තේරුම :-
“එහි ජාතිය නිසා වන්නා වූ ජරාමරණය කවරේද යත්? ජරාවක් ඇත, මරණයක් ඇත, එහි ජරාව කවරේද යත්? ඒ ඒ සත්ත්වයන් ගේ ඒ ඒ සත්ත්වනිකායයෙහි යම් ජරාවක් දිරන බවක් කඩතොලු බවක් පැසුණු බවක් සම රැලි වැටෙන බවක් ආයුෂයාගේ හානියක් ඉන්ද්‍රියයන් ගේ මේරීමක් වේ ද මෙය ජරාව ය යි කියනු ලැබේ. එහි මරණය කවරේ ද යත්? ඒ ඒ සත්ත්වනිකායයෙන් යම් පහවීමක් පහවන බවක් බිඳීමක් අතුරුදහන්වීමක් මච්චුය යි කියන ලද මරණයක් මරහු ගේ ක්‍රියාවක් ස්කන්ධයා ගේ බිඳීමක් මළසිරුර තැබීමක් ජීවිතේන්ද්‍රියයා ගේ සිඳීමක් වේ ද මෙය මරණය ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද යන මෙය ජාතිය නිසා වන්නා වූ ජරාමරණය යි කියනු ලැබේ ය” යනු යි.
“තත්ථ කතමෝ සෝකෝ? ඤාතිබ්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස සීලබ්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ චේතසෝ පරිජ්ඣායනා දෝමනස්සං සෝකසල්ලං, අයං වුච්චති සෝකෝ.”
තේරුම :-
“එහි ශෝකය කවරේ ද යත්? ඥාතිව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ භෝගව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ, රෝග ව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ, ශීලව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ, දෘෂ්ටිව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහු ගේ, එක්තරා එක්තරා දුඃඛ ධර්මයකින් මඩනා ලද්දහුගේ යම් ශෝකයක් ශෝක කරන ආකාරයක් ශෝක කරන බවක් අභ්‍යන්තරයෙහි ශෝකයක් චිත්තයා ගේ දැවෙන ආකාරයක් දුඃඛිත සිත් ඇති බවක් ශෝක නමැති හුලක් වේ ද, මෙය ශෝකය” යි කියනු ලැබේය යනුයි.
“තත්ථ කතමෝ පරිදේවෝ? ඤාතිබ්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස සීලබ්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන ඵුට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තං පරිදේවිතත්ං වාචා විප්පලාපො පලාපො ලාලප්පනා ලාලප්පිතත්තං අයං වුච්චති පරිදේවෝ”
තේරුම :-
“එහි පරිදේවය කෙසේද යත්? ඥාතිව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ භෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ රෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ ශීලව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහු ගේ එක්තරා එක්තරා දුක්ඛ ධර්මයකින් මඩනා ලද්දහු ගේ මේ මගේ පුතා මගේ දූ ය යි කිය කියා හැඬීමක්, ගුණ කිය කියා හැඬීමක් මගේ පුතා මගේ පුතා ය යි කිය කියා අඬන ආකාරයක් ගුණ කිය කියා අඬන ආකාරයක්, මගේ පුතා මගේ දූ ය යි කියා අඬන බවක් ගුණ කිය කියා අඬන බවක්, කීමක් නිරර්ථක වචන කීමක් නැවත නැවත කීමක් නැවත නැවත කියන ආකාරයක් නැවත නැවත කියන බවක් වේ ද, මෙය පරිදේවය” යි කියනු ලැබේය යනුයි.
“තත්ථ කතමං දුක්ඛං? යං කායිකං අසාතං කායිකං දුක්ඛං කායසම්ඵස්සජං අසාතං දුක්ඛං වේදයිතං කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වේදනා ඉදං වුච්චති දුක්ඛං.”
තේරුම :-
“එහි දුක්ඛය කවරේ ද යත්? යම් කායික වූ අමිහිරක් කායික වූ දුකක් කයෙහි ස්පර්ශයෙන් හටගන්නා අමිහිරි වූ දුක් වූ වේදයිතයක් කයෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ නො මිහිරි වූ වේදනාවක් වේ ද මෙය දුඃඛය” යි කියනු ලැබේ.
“තත්ථ කතමං දෝමනස්සං? යං චේතසිකං අසාතං චේතසිකං දුක්ඛං චේතෝසම්ඵස්සජං අසාතං දුක්ඛං වේදයිතං චෙතෝසම්පස්සජා අසාතා දුක්ඛා වේදනා ඉදං වුච්චති දෝමනස්සං.”
තේරුම :-
“එහි දෞර්මනස්‍යය කවරේ ද යත්? යම් සිතෙහි වූ නො මිහිරක් සිතෙහි වූ දුකක් සිතෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ නො මිහිරි වූ දුක් වූ වේදනාවක් වේ ද, මෙය දෞර්මනස්‍යය” යි කියනු ලැබේය යනුයි.
“තත්ථ කතමෝ උපායාසෝ? ඤාතිව්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගව්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගව්‍යසනේන වා ඵුට්ඨස්ස සීලව්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිව්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්තාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං, අයං වුච්චති උපායාසො.”
තේරුම :-
“එහි උපායාසාය කවරේ ද යත්? ඤාතිව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ භෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ රෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ ශීලව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ දෘෂ්ටි ව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහු ගේ එක්තරා එක්තරා දුඃඛ ධර්මයකින් පීඩිත වූවහු ගේ සිතෙහි වෙහෙසක් සිතෙහි බලවත් වෙහෙසක් වෙහෙසුණු සිත් ඇති බවක් බොහෝ වෙහෙසුණු සිත් ඇති බවක් වේ ද, මෙය උපායාසය” යි කියනු ලැබේය යනුයි.
කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රයෙහි කොතැනක වුව ද ඉපදීමක් වුවහොත් උපන් සත්ත්වයාට ජරා මරණ දෙක ඒකාන්තයෙන් ඇති වන්නේය. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන පස ඇතැම් සත්ත්වයෝ බහුල වශයෙන් ද ඇතැම් සත්ත්වයෝ අල්ප වශයෙන් ද ලබති. රූපාරූප ලෝකවල සත්ත්වයෝ ඒවා නො ලබති. ජරා මරණාදි සියල්ලම සෑම සත්ත්වයන් විසින් ම නො ලබතත් යමෙක් යමෙක් ලබත් නම් ඔවුන් ඒවා ලබනුයේ උපන් නිසාම ය. නූපන හොත් නො ලබති. එබැවින් ජාතිය නිසා ජරා මරණාදීහු වෙතැ යි කියනු ලැබේ.
නාමරූප ධර්මයන් ගේ හෙවත් සංස්කාර ධර්මයන් ගේ මෝරන පැසෙන දිරන ස්වභාවය ජරාව ය. තමා විසින් වැළඳ ගන්නා ලද අභ්‍යන්තරයට වැද ගන්නා ලද දෙය දවා දුබල කොට විනාශය කරා ගෙනයාම ගින්නේ ස්වභාවය ය. ජරාවේ ස්වභාවය ද එයම ය. ගලක් අහසට ගැසූ කල්හි එහි නැවතීමක් නො වෙත හොත් එය අහසෙහි ම යනු මිස නැවත කිසි කලෙක පොළොවට නො පැමිණේ. එය නැවත පොළොවට වැටෙනුයේ අහසෙහි නැවතීම සිදුවන නිසාය. ගල අහසට නැගෙන්නේ නවතින ස්වභාවයත් අරගෙනම ය. එබැවින් එය මඳක් ගොස් අහසේ නැවතී නැවතුණු තැන් පටන් බිමට බසින්නට පටන් ගනී. එමෙන් උපදනා වූ සංස්කාරය ඉපදීමේ වේගයෙන් ම පවතිත හොත් එය කිසිකලෙක භංගයට නො පැමිණේ. භංගයට පැමිණෙන්නේ ඉපදීමේ වේගය නැවතීම නිසා ය. ඉපදීමේ වේගය සිඳෙන්නේ ජරාව නිසා ය. ජරාවෙන් ඉපදීමේ වේගය සිඳිනු ලැබූ කල්හි ඒ සංස්කාරය භංගයට හෙවත් අභාවයට පැමිණේ.
මෙසේ ගින්නක් මෙන් උපදින සංස්කාරය දුබල කොට විනාශ මුඛයට ගෙන යන බැවින් ජරාවට ජරාගින්නය යි කියනු ලැබේ. ජරාගින්න තමන් ගේ අභ්‍යන්තරයට පිවිසෙනු වළක්වාලිය හැකි ශක්තියක්, ජරාගින්නට තමන් වැළඳ ගන්නට නො හැකි වන ආනුභාවයක්, ලෞකික වූ හෝ ලෝකෝත්තර වූ හෝ කිසිම සංස්කාරයකට නැත. සකල සංස්කාරයෝම ජරාගින්නෙන් දැවී විනාශයට යෙති. ජරාවට නො පැමිණ බිඳෙන සංස්කාරයකුත් නැත. එසේ ම ජරාවට නො පැමිණ මියන සත්ත්වයෙක් ද නැත. මව්කුස තුළදී ම මිය යන සත්ත්වයා මිය යන්නේ ද ජරාගින්නෙන් දවනු ලැබීමෙනි. බිහි වූ සත්ත්වයාගේ මරණය ගැන කියනු ම කිම?
ජරාව ඇසට පෙනෙන දෙයක් නො වේ. ඇසට පෙනෙනුයේ සත්ත්ව සන්තානය ජරා ගින්නෙන් දවනු ලැබීම නිසා පහළ වූ ලකුණු පමණෙකි. දත් නැති බව, කෙස් ලොම් පැසුණු බව, ඇඟ රැලි වැටුණු බව, කුදු ගැසුණු බව යනාදිය ඒ ලකුණු ය. ඒ ලකුණු ජරාව නොව ජරාවේ ඵලයෝ ය. ඒවා ජලස්කන්ධයක් ගලාගිය තැන දක්නට ලැබෙන්නා වූ ද, ලැව්ගින්නක් ඇවිළුණු තැනක දක්නට ලැබෙන්නා වූ ද, සැඩ සුළඟක් හමාගිය පෙදෙසක දක්නට ලැබෙන්නා වූ ද සලකුණු සේ දත යුතු ය.
ජරා ගින්නෙන් දවනු ලැබූ ලකුණු සෑම වස්තුවකම සෑම ශරීරයකම සම කාලයකින් පහළ වන්නේ නො වේ. ඒ ඒ වස්තුවල ශරීරවල ශක්තියේ සැටියට ලකුණු පහළවීමේ කාලය වෙනස් වේ. බුරුල් බිමක මිනිසුන් ගමන් කළහොත් මාර්ග සලකුණු ඉක්මනින් පෙනෙන්නට වේ. තද බිමක ගමන් කළහොත් සලකුණු පෙනෙන්නට ඊට වඩා දීර්ඝ කාලයක් ගත වේ. ගලක් උඩින් ගමන් කළහොත් මඟ සලකුණු පෙනෙන්නට ඉතා දීර්ඝ කාලයක් ගත වේ. එමෙන් දුබල වස්තු දුබල ශරීරවල ජරාවෙන් දැවුණු ලකුණු කෙටිකලෙකින් පෙනෙන්නට වේ. බලවත් වස්තුවල හා බලවත් පුද්ගලයන් ගේ ශරීරවල ඒ ලකුණු පෙනෙන්නට වැඩි කාලයක් ගත වේ. දිව්‍යබ්‍රහ්මයන්ගේ ශරීරවල ජරාවෙන් දැවීම ඇත ද ලකුණු පහළ නො වේ.
සත්ත්වයා භවයෙහි පිළිසිඳ ගත් තැන පටන් ම සත්ත්වසන්තානයට ජරාගින්න වැද, එයින් සන්තානය වැළඳ ගෙන දවන්නට පටන් ගන්නේ ය. පිළිසිඳ ගැන්මෙහි පටන් ම ඒ සන්තානයට කර්ම - චිත්ත - සෘතු - ආහාර යන හේතූන්ගෙන් උපදනා අලුත් රූප එක් වීමෙන් එහි වැඩිවීමක් ද වේ. උපන් සත්ත්වයාගේ සන්තානය ජරාවෙන් දවා දුබල කිරීම මරණය කරා ගෙන යාම එක් කරුණෙකි. කර්මාදි ප්‍රත්‍යයෙන් හටගන්නා අභිනව රූප එක්වී වැඩීම අනෙක් කරුණෙකි. බාල කාලයේ දී සත්ත්වසන්තානයට බහුල වශයෙන් එකතු වන අභිනව රූපයන්ගෙන් පරණ රූප දිරා දුබලවීමේ ලකුණු වැසේ. එබැවින් බාලකාලයේ දී ජරාව ප්‍රකට නො වේ. ශරීරය වැඩී සම්පූර්ණ වූ පසු අභිනව රූප පරම්පරාවන් එයට එක්වීම මඳ වේ. එකල්හි ජරා ලකුණු ප්‍රකටව පෙනෙන්නට වන්නේ ය.
අභිනව රූප පරම්පරාව එක්වීමෙන් ශරීරයේ වැඩීමය, උපන් සැම සංස්කාරයක් ම ජරාවෙන් දවන බවය යන මේ දෙකරුණ දෙකරුණක් සැටියට - දෙමඟක් සැටියට තේරුම් ගත් කල්හි බාලකාලයේ පටන් ම ජරාවට පැමිණෙන බව හා ජරාවට නො පැමිණ නො මියන බව ද, තේරුම් ගත හැකි වනු ඇත. ජරාව ඇත්තේ රූප කයට පමණක්ම නො වේ. චිත්ත චෛතසික සංඛ්‍යාත නාම ධර්මයන්ට ද එය ඇත. එබැවින් ජරාව රූපී සත්ත්වයන්ට පමණක් නොව අරූපී සත්ත්වයන්ට ද ඇති බව දත යුතු ය.
ආයු පරිච්ඡේද ජරාව ය. සන්තති ජරාවය, ක්ෂණික ජරාවය යි ජරාව ත්‍රිවිධ වේ. සත්ත්වයන් ගේ ජීවන කාලය පිරිසිඳින ජරාව ආයු පරිච්ඡේද ජරා නමි. වියළි කොළයක් ගින්නට දැමුව හොත් සැණෙකින් අලු වේ. අමු කොළය එයට වඩා මදක් ගින්නට ඔරොත්තු දෙයි. වියළි ලී කැබෙල්ල එයට වඩා මඳක් ඔරොත්තු දෙයි, අමු ලී කැබෙල්ල එයට වඩා මඳක් ඔරොත්තු දෙයි. යකඩ කැබෙල්ල එයට වඩා බොහෝ කලක් ගින්නට ඔරොත්තු දෙයි. තඹ කැබෙල්ල එයට ද වඩා කලක් ඔරොත්තු දෙයි. එමෙන් දුබල වූ කර්මාදි හේතූන්ගෙන් උපන්, උකුණු - මකුණු - මැසි - මදුරු ආදි ඇතැම් කුඩා සත්ත්ව කෙනෙක් ජරාවෙන් දවා දුබල කරනු ලැබ සතියකින් මිය යෙති. මඳක් බලවත් වූ කර්මාදි ප්‍රත්‍යයන් නිසා උපන්නාවූ ඇතැම් සත්ත්ව කෙනෙක් ජරාගින්නට උකුණු මකුණු ආදීන්ට වඩා දීර්ඝ කාලයක් ඔරොත්තු දෙති. දැවීම උසුලා සිටීමට සමත් වෙති. බලවත් කර්මාදි හේතූන් නිසා උපන් සත්ත්වයෝ බොහෝ කල් ජරා ගින්නෙන් දැවීම උසුලන්නට සමත් වෙති. වැඩි කල් ඒ දැවීමට ඔරොත්තු දෙන්නා වූ සන්තාන ඇති සත්ත්වයෝ බොහෝ කල් ජීවත් වන්නාහු ය.
උකුණු මකුණු ආදි දුබල කුඩා සතුන් ගේ ජීවන කාලය සතියක් වන්නේ ඉදිරියට ජීවත් නො විය හැකි පමණට ඒ සන්තානයන් ජරාගින්නෙන් සතියක් තුළදීම දවන නිසා ය. මතුවට ජීවත් නො විය හැකි පමණට සත්ත්වසන්තානයක් ජරාව විසින් දවා දුබල කරන්නට ගතවන්නා වූ කලාය ඒ ඒ සත්ත්වයන්ගේ පරමායුෂය ය. සත්ත්වයන් ගේ ආයු නියමය ජරාව පිළිබඳ වූවකි. ජරාගින්නට අසුව මසකින් මතු ජීවත් විය නොහෙන පමණට ශරීරය දුබල කළ හැකි සත්ත්වයා ගේ පරමායුෂ මසෙකි. ජරාගින්නට වර්ෂයකින් මතු ජීවත්වීමේ ශක්තිය නැති වන ලෙස දුබල කළ හැකි සත්ත්වයා ගේ පරමායුෂ වර්ෂයකි. බලවත් කර්මයෙන් ජනිත ප්‍රණීත රූපයන්ගෙන් නිර්මිත දේව බ්‍රහ්මයන් ගේ ශරීරයන් දවා දුබල කිරීමට ජරාගින්නට බොහෝ කලක් ගත වේ. එබැවින් ඔවුහු දීර්ඝායුෂ්කයෝ ය. මෙසේ ඒ ඒ සත්ත්ව ජාතීන් ගේ ආයුෂ පිරිසිඳින ජරාව ආයුපරිච්ඡේද ජරාව ය.
එක් එක් සත්ත්ව ශරීරයක මරණය තෙක් නො ප වත්නා වූ වරින් වර චිත්ත - සෘතු - ආහාරයන්ගෙන් ඇති වන්නා වූ ආගන්තුක රූප පරම්පරාවෝ ද වෙති. අනේක හේතූන්ගෙන් හටගැනී එක්තරා කාලයක් පැවැතී සිඳී යන ආගන්තුක චිත්තපරම්පරාවෝ ද වෙති. ආහාරයක් නො ලද කල්හි ශරීරය දුබල ව පවතී. ආහාර නො ලැබූ තැනැත්තා ගේ හිසද ඔසවා කෙළින් තබා ගත හැකි සැටියට පණ නැත. උගුරෙහි හා කටෙහි තෙත් ගතිය නැත. කෙළින් තබා ගෙන සිටීමට කඳ පණ නැත. වැඩක් කිරීමට අත් පණ නැත. ගමන් කිරීමට පා පණ නැත. මෙසේ දුබල ව සිටින තැනැත්තා ගේ ශරීරයට ආහාරයක් වැටුණු පසු ඔහු ගේ අත් පාවලට නැවත පණ එන්නේ ය. ඔහු ගේ උගුර කට නැවත තෙත් වන්නේ ය. එසේ වන්නේ ආහාරය නිසා අලුත් රූප කොටසක් ඔහු ගේ ශරීරයේ පැතිර පහළ වීමෙනි.
ආහාරයෙන් නිපන් ඒ ආගන්තුක රූපයෝ ද ජරාවෙන් තොර වූවාහු නො වෙති. ජරාව ඒවා සමග ඇති වී ඒවා වියළවන්නට දවන්නට දුබල කරන්නට පටන් ගන්නේ ය. ඒ හේතුවෙන් පැය ගණනක් තුළ දී හිසෙහි පහළ වූ ආහාරජ රූප පරම්පරාවෝ හිසෙහි ම සිඳී යෙති. කඳෙහි පැවති රූප පරම්පරාවෝ කඳෙහිම සිඳී යෙති. අත්පාවල පැවති රූප පරම්පරාවෝ අත්පාවලම සිඳී යෙති. පැය ගණනකින් පසු සත්ත්වයා නැවතත් දුබල බවට පත් වන්නේ එහෙයිනි. මෙසේ පහළ වන්නා වූ ආගන්තුක රූප පරම්පරාවන් ගේ දිරීම සන්තතිජරාව ය. ඒවායේ සිඳී යාම සන්තතිමරණය යි. ශීතය උෂ්ණය ධාතු කෝපය නානාප්‍රකාර සිතිවිලිය යන ආදියෙන් සත්ත්වසන්තානයෙහි මෙසේ නොයෙක් විට නානාවිධ රූපසන්තතීහු පහළ වී දිරා සිඳී යෙති. ඒ සියල්ලේ ම දිරීම සන්තතිජරාව ය. සිඳීම සන්තති මරණය ය.
සත්ත්වසන්තානයෙහි සමහර අවස්ථාවල දී යම් කිසි ඉෂ්ටාරම්මණයක ප්‍රතිලාභයෙන් ප්‍රීති සහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී ශෝක සහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී භයසහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී ක්‍රෝධසහගත සිතිවිලි පරම්පරාවෝ ද, ඊර්‍ෂ්‍යාසහගත සිතිවිලි පරම්පරාවෝ ද, ලෝභසහගත සිතිවිලි පරම්පරාවෝ ද, කරුණාසහගත සිතිවිලි පරම්පරාවෝ ද, මෛත්‍රීසහගත සිතිවිලි පරම්පරාවෝ ද පහළ වෙති. තවත් නොයෙක් ආකාර සිතිවිලි පරම්පරාවෝ ද පහළ වෙති. මම මෙතෙක් කල් ප්‍රීතියෙන් විසුවෙමි යි කියනුයේ ප්‍රීති සහගත චිත්තපරම්පරාව පැවති බව ගැන ය. මෙතෙක් කල් ශෝකයෙන් සිටියෙමි ය යි කියනුයේ ශෝකසහගත චිත්තපරම්පරාව පැවති බව ගැන ය. මෙතෙක් කල් බියෙන් සිටියෙමි ය, කෝපයෙන් සිටියෙමි ය යනාදිය කියනුයේ ද ඒ ඒ සිත් පරම්පරාවල පැවති කාලය ගැන ය.
ප්‍රීතිසහගත චිත්තපරම්පරාවක් ඇති වන්නට පටන් ගත් කල්හි පටන් ගැන්මේ සිට ම එය ජරාවෙන් දුබල කරන්නට වන්නේ ය. එයින් කල් යත් යත් ප්‍රීතිය මඳ වෙවී ගොස් අන්තිමට සම්පූර්ණයෙන් ම සිඳී යන්නේ ය. පළමුවෙන් ඉතා මිහිරි බවක් දැනෙන ලෙසට ඉතා බලවත් ලෙසට පටන් ගත් ප්‍රීතිය කෙමෙන් හීන වනුයේ මඳ වූවා සේ දැනෙනුයේ දිරීමෙන් එය දුබල වන බැවිනි. එසේ කෙමෙන් ජරාවෙන් දුබල වී ගොස් අන්තිමට ඒ ප්‍රීතිය සර්වාකාරයෙන් නැති වන්නේ ය. පටන්ගත් ප්‍රීතිය කෙමෙන් දුබලවීම සන්තතිජරාව ය. අන්තිමේ දී සර්වාකාර යෙන් ප්‍රීතිය සිඳී යාම සන්තති මරණය ය.
යම් කිසි කරුණක් නිසා උග්‍ර කෝපයක් පහළ වූ කල්හි ජරාව එය දුබල කරන්නට පටන් ගනී. තරමක් කාලය ගත වූ පසු කෝපය මඳ වූවා සේ දැනෙනුයේ ඒ දුබල වීම නිසා ය. කෙමෙන් දුබල වී ගොස් අන්තිමේ දී කෝපය නැති වී යයි. එකල්හි කෝපය සන්සිඳුණේ යයි කියනු ලැබේ. කෝපය සන්සිඳීමය යි කියනුයේ ක්‍රෝධ සහගත සිත් පරම්පරාවේ සන්තති මරණයට ය. කෙමෙන් සන්සිඳීම නම් සන්තති ජරාවය. මෙසේ චිත්ත පරම්පරාවන් ගේ සන්තති ජරා මර දෙක සලකා ගත යුතු ය.
එක් නාමරූප ධර්මයකට ඇත්තා වූ ජීවන කාලය හෙවත් පවත්නා කාලය ඉතා කෙටි කාලයකි. ඒ කාලය උත්පාදය - ස්ථිතිය - භඞ්ගය යි තුනට බෙදනු ලැබේ. ඒ තුන් කාලයෙන් එක් එක් කාලයක් ඇසි පිය හෙලන කාලයෙන් ලක්‍ෂයෙන් පංගුවක් පමණ වත් දිග නැත. පෙර නො තුබුණා වූ යම්කිසි නාම රූප ධර්මයක පැන නැඟීම, මතු වීම, පහළ වීම එක්තරා වේගයකි. උත්පාදය යි කියනුයේ ඒ වේගයට ය. ඒ වේගයට ජරාවට පැමිණීමෙන් සිටී. නවතී. වේගය නැවතී පවත්නා අවස්ථාවට ස්ථිතිය යි කියනු ලැබේ. ඉපදීමේ වේගය සන්සිඳෙනු සමඟ ම එය බිඳ වැටේ. එයට භඞ්ගය යි කියනු ලැබේ.
ඉපදීමේ වේගය නවත්වා උපන් ධර්මය බිඳ වැටීමට යොමු කර දෙන්නා වූ සංස්කාරයන් ගේ මේරීම පැසීම වූ ස්ථිතිය ක්‍ෂණික ජරාව ය. එය නිසා වන්නා වූ සංස්කාරයන්ගේ බිඳ වැටීම අතුරුදහන් වීම ක්‍ෂණික මරණය යි. ක්ෂණික ජරා මරණ දෙක අභිධර්මය උගත හොත් හොඳින් වැටහෙනු ඇත. ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්ය උපායාස යන මේ පස පටිච්චසමුප්පාදයේ අංග නො වන නිසා ද තේරුම් ගැනීමට අපහසු නො වන නිසා ද ඒවා ගැන විස්තරයක් නො කරනු ලැබේ.
මෙම ප්‍රතීත්‍යසමුප්පාද දේශනය අවිද්‍යාවෙන් පටන් ගෙන තිබෙනුයේ අවිද්‍යාව අහේතුක ව ඇති වන්නක් නිසා හෝ අන් සැමට පළමුව ලෝකයෙහි එය ඇති වූ නිසා හෝ නො වන බව පෙර කියා ඇත. “ජාතිපච්චයා ජරාමරණං, සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති” යි ප්‍රතීත්‍යසමුප්පාද දේශනය අවසන් කර තිබෙනුයේ ද ජරා මරණයෙන් මේ හේතු ඵල පරම්පරාව කෙළවර වී යන නිසා නො වේ. අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණයෙන් මේ චක්‍රය අර්හත්මාර්ගඥානය නමැති කඩුවෙන් සිඳින තුරු කාල නියමයක් නැති ව මේ හේතු ඵල පරම්පරාව ඉදිරියට නො සිඳී පවත්නේ ය. එසේ පවත්නා බව දැක්වීම පිණිස මෙහි පටන් ගැනීමේ දී දැක් වූ අවිද්‍යාව නැවතත් දැක්විය යුතු ය.
ඒ අවිද්‍යාව නැවත දේශනය නො කරනලදුයේ යම්කිසි කරුණක් නිසා ය. එනම් - ජරා - මරණ ශෝක පරිදේව-දුඃඛ - දෞර්මනස්ය - උපායාසයෝ ද මේ සංසාර චක්‍රයට ඇතුළු කොට දැක්විය යුතු ම ය. මේ හේතුඵල පරම්පරාව පිළිබඳ සෙවිය යුත්තේ ද, මෙය දතයුත්තේ ද ජරා මරණාදි දුක් රැස ඇති නිසා ය. ජාතියට අනතුරු ව මේ ස්ථානයේ දී ජරා මරණාදිය නො දක්වා මුලට සම්බන්ධ කිරීමට “ජාතිපච්චයා අවිජ්ජා” යි අවිද්‍යාව දක්වත හොත් ජරාමරණාදිය දක්වන්නට තැනක් නො ලැබේ.
එබැවින් තථාගතයන් වහන්සේ වරක් වදාළ අවිද්‍යාව නැවත නො ගෙන “ජාතිපච්චයා ජරාමරණං” යි වදාළ සේක. ජරා මරණයන් වදාරා, ජරාමරණ පච්චයා අවිජ්ජා යි දේශනය කළත් යෙදෙන්නේ නො වේ. එබැවින් එසේ ද නොවදාළ සේක. ශෝක - පරිදේව දුඃඛ - දෞර්මනස්ය - උපායාසයෝ අවිද්‍යාවෙන් වෙන් නො වන අවිද්‍යාව හා බැඳී උපදනා ධර්‍මයෝ ය. එබැවින් ශෝකාදිය වදාළ කල්හි අවිද්‍යාව ද දැක්වූයේ වන්නේ ය. ජාතිය නිසා ඇති වන්නේ ජරාමරණාදි ධර්ම සත පමණක් ම නො වේ. සත්ත්වයකු ගේ ඉපදීමේ පටන් මරණය දක්වා කාලය තුළ සත්ත්ව සන්තානයෙහි යම් යම් ධර්ම කෙනෙක් ඇති වෙත් නම් ජාතිය ඒ සියල්ලටම හේතු වේ. නූපන්නා නම් ඒවා ඇති නො වන බැවිනි.
සත්ත්වයකු උපනහොත් ඔහුට ස්වසන්තානයට අයත් ස්කන්ධයන් නිසා ද, ඔහුගේ ඉන්ද්‍රියයන්ට හමු වන රූප ශබ්දාදි ආරම්මණයන් නිසා ද, අවිද්‍යාව ඒකාන්තයෙන් ඇති වන්නේ ය. එබැවින් දේශනා භේදය වන නිසා තථාගතයන් වහන්සේ විසින් නමින් ගෙන අවිද්‍යාව නො වදාළේ වී නමුත් මෙහි අවිද්‍යාව ද ගැනෙන බව දත යුතු ය. අවිද්‍යාව ඇති වූ කල්හි නැවතත් කර්ම රැස්කරන බැවින් කර්ම නිසා නැවත උපදින බැවින් මේ හේතුඵල පරම්පරාව නො සිඳී පවතින්නේ ය යි දත යුතු. එහි මුලක් ද නැත්තේ ය. ප්‍රතීත්‍යසමුප්පාද දේශනය ජාති තුනකට සම්බන්ධව පවත්නා සැටි මේ සටහන බලා දත යුතු.
අතීත භවය |
අවිජ්ජාපච්චයා සංඛාරා සංඛාර පච්චයා |
වර්තමාන භවය |
- විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා නාමරූපං නාමරූප පච්චයා සලායතනං සළායතනපච්චයා ඵස්සෝ ඵස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා භවො භවපච්චයා |
අනාගත භවය |
- ජාති ජාතිපච්චයා ජරා මරණං, සෝකපරිදේව දුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති |
මෙහි අංග දොළොසෙකි. එනම් :- අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරාමරණ යන මේ දොළොස ය. ශෝකාදිය අංගභාවයෙන් ගණන් නො ගනු ලැබේ. මේවායින් අවිද්‍යා සංඛාර දෙක අතීතාංගයෝ ය. ජාති ජරාමරණ දෙක අනාගතාංගයෝ ය. විඥානාදි මැද අට වර්තමානාංගයෝ ය.
චක්‍රයක් වී පවතින්නා වූ මේ ධර්ම පරම්පරාවෙහි හේතු ඵල සන්ධිය ය, ඵල හේතු සන්ධිය ය, තවත් හේතු ඵල සන්ධියකැ යි සන්ධි තුනක් වේ. අවිද්‍යා සංස්කාර දෙක අතීත භවයේ හේතූහු ය. අතීත සංස්කාරය නිසා වර්තමාන භවයේ ප්‍රතිසන්ධි විඥානය පහළ වේ. එහි සංස්කාරය අතීත භවයටත් විඥානය වර්‍තමාන භවයටත් අයත් ය. එබැවින් ඒ දෙක අතර එක් හේතු ඵල සන්ධියකි. වර්තමාන භවයෙහි හටගන්නා විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා යන මේ අංග පසම අවිද්‍යා සංස්කාර සංඛ්‍යාත අතීත හේතු දෙදෙනා ගේ ඵල වූ අංගයෝ ය. ඒ ඵල ධර්ම පස නිසා නැවත ඒ සත්ත්වයාහට අනාගත භවයෙහි ඉපදීමට හේතු වන්නා වූ තණ්හා - උපාදාන - භව යන අංගයෝ පහළ වෙති.
වර්තමාන භවයට අයත් අංග අට අතුරෙන් විඤ්ඤාණාදි පස අතීත හේතූන් ගේ ඵලත් තණ්හාදි තුන අනාගත භවයට පැමිණීමට කරුණු වන වර්තමාන හේතූන් බැවින් ඒ ධර්ම අට ඵල හේතු වශයෙන් දෙකකට බෙදේ. එසේ බෙදෙන බැවින් වර්තමාන ඵලයන් ගේ අන්තිම ධර්මය වූ වේදනාව ගේ හා වර්තමාන හේතූන් ගේ පළමුවන ධර්මය වූ තෘෂ්ණාවත් අතර එක් ඵල හේතු සන්ධියකි. තෘෂ්ණා උපාදාන භව සංඛ්‍යාත වර්තමාන භවයේ හේතු, නිසා අනාගත භවයෙහි ජාති ජරා මරණ යන ඵලයෝ වෙති. එබැවින් වර්තමාන ජාතියට අයත් වූ කර්මභවයට හා අනාගත භවයට අයත් වූ ජාතියට ද අතර එක් හේතු ඵල සන්ධියකි. මෙසේ මේ ප්‍රතීත්‍ය සමුද්පාදය සන්ධිත්‍රයකින් යුක්ත වේ.
අවිජ්ජාපච්චයා සඞ්ඛාරා සඞ්ඛාරාපච්චයා - |
|
හේතු ඵල සන්ධිය |
|
- විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා නාමරූපං නාමරූපපච්චයා සලායතනං සළායතනපච්චයා පස්සෝ ඵස්සපච්චයා වේදනා වේදනාපච්චයා - |
|
ඵල හේතු සන්ධිය |
|
- තණ්හා තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා භවො භවපච්චයා - |
|
හේතු ඵල සන්ධිය |
|
- ජාති ජාතිපච්චයා ජරාමරණං සෝක පරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති |
පටිච්චසමුප්පාදාංග දොළොස සන්ධි වන ස්ථානයන් ගෙන් වෙන්කර ගන්නා කල්හි ධර්ම කොටස් සතරක් වේ. එයින් එක් කොටසක් එක් සමූහයකි. ඒ රාශි සතරට සංග්‍රහ සතරය යි කියනු ලැබේ. එහි අවිජ්ජා සංඛාර දෙක පළමු වන රාශිය ය. විඤ්ඤාණ නාමරූප සළායතන ඵස්ස වේදනා යන අංග පස දෙවන රාශිය ය. තණ්හා උපාදාන භව යන තුන තුන්වන රාශිය යි. ජාති ජරාමරණ යන දෙක සතර වන රාශිය යි.
“අතීතේ හේතවෝ පඤ්ච ඉදානි ඵල පඤ්චකං
ඉදානි හේතවේ පඤ්ච ආයතිං ඵල පඤ්චකං”
යනුවෙන් දැක්වෙන පරිදි මේ භව චක්‍රයෙහි අතීත හේතු පසක් ද, වර්තමාන ඵල පසක් ද, වර්තමාන හේතු පසක් ද, අනාගත ඵල පසක් දැ යි අංග විස්සක් වේ. පටිච්චසමුප්පාද පාළියෙහි අතීත හේතු වශයෙන් ස්වරූපයෙන් දැක්වෙන්නේ අවිද්‍යා සංස්කාර දෙක ය.
අවිද්‍යාවෙන් මඩනා ලද තැනැත්තේ ස්වකීය ස්කන්ධයන්ට හා බාහිර රූපශබ්දාදියට ද ආශා කරයි. ආශා කළ තැනැත්තේ මම ය මාගේ ය යනාදීන් ඒවා තදින් ගනී. තදින් ගත් තැනැත්තේ ඒවා නිසා පින් පව් කරයි. එබැවින් අතීත හේතු වශයෙන් අවිද්‍යා සංස්කාර දෙක ගත් කල්හි තෘෂ්ණා උපාදාන භවයෝ ද ගන්නා ලද්දාහු වෙති. එබැවින් ස්වරූප වශයෙන් දැක්වූ අවිද්‍යා සංස්කාර දෙක ය, ඒ දෙක ගන්නා කල්හි ගැනෙන තණ්හා උපාදාන කර්‍මභව යන තුන ය යි අතීත හේතු පසක් වේ.
මෙහි පූර්ව චේතනාව සංස්කාරය යි ද, නිෂ්ඨාපන චේතනාව කර්මභවය යි ද ගත යුතු. පින් වූ හෝ පව් වූ හෝ යම්කිසි ක්‍රියාවක් කරන්නට දින ගණනක් හෝ සති ගණනක් හෝ මාස ගණනක් හෝ වර්ෂ ගණනක් හෝ කල්පනා කරමින් ගත කරන්නහු ගේ ඒ චේතනා රාශිය පූර්ව චේතනාය යි දත යුතු. කල්පනා කළ පරිදි සිතූ පරිදි ඒ ක්‍රියාව සිදුකරන්නා වූ චේතනාව නිෂ්ඨාපන චේතනාව ය. යමක් කරන්නට කොතෙක් කල් සිතුවත් එය සිදුකරන්නට නුපුළුවන් වුවහොත් ඒ චේතනා මතු උත්පත්තියක් ඇති කරලීමට තරම් බලවත් නොවෙති. මතු උත්පත්තියක් ඇති කිරීමට තරම් බලවත් වනුයේ නිෂ්ඨාපන චේතනාව ය. නිෂ්ඨාපන චේතනාව ඇති වී කර්මය සිදු වුව හොත් එයින් පූර්ව චේතනා රාශිය ද බලවත් වේ. දුබල පූර්ව චේතනා මතු උත්පත්තියක් ඇති කිරීමට අසමර්ථය යි කී නමුත් ඒවා සර්වප්‍රකාරයෙන් ම ප්‍රතිසන්ධියක් ගෙන නො දෙන්නාහු ද නො වෙති. සමහර විට ඒවා ද ප්‍රතිසන්ධියට හේතු වේ.
තවත් ක්‍රමයකින් එක් එක් ජීවන වාරයක පූර්ව ජවන සයෙහි චේතනාව සංස්කාරය යි ද, සප්තම ජවන චේතනාව කර්ම භවය යි ද කියනු ලැබේ. දෙවන ජාතියෙහි ප්‍රතිසන්ධිය සප්තම ජවන චේතනාවෙන් ඇති කරනු ලැබේ. විඤ්ඤාණ, නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වේදනා යන මේ අංග පස අතීත හේතු පස නිසා ඇති වන වර්තමාන ඵල පස ය. පටිච්චසමුප්පාද පාළියෙහි ස්වරූපයෙන් උද්ධරණය කොට දක්වා තිබෙනුයේ තෘෂ්ණා - උපාදාන - භව යන වර්තමාන හේතු තුන පමණෙකි. එහෙත් තෘෂ්ණා උපාදානයන් අවිද්‍යාව සමග ම මිස අවිද්‍යාවෙන් වෙන් ව කිසි කලෙක ඇති නො වන බැවින් ඒ දෙක ගත් කල්හි අවිද්‍යාව ද ගැනෙන්නේ ය. කර්මභවය යි කියනු ලබන නිෂ්ඨාපන චේතනාව හෝ සප්තම ජවන චේතනාව පූර්ව චේතනාවන් ගෙන් තොරව ඇති නො වන බැවින් කර්මභවය ගැනීමෙන් සංස්කාරය ද ගැනෙන්නේ ය. එබැවින් ස්වරූපයෙන් දේශිත තෘෂ්ණා - උපාදාන - භව යන අංග තුන ය, ඒවා ගැනීමෙන් ගැනෙන අවිද්‍යා - සංස්කාර යන අංග දෙක ය යි වර්තමාන භවයෙහි හේතු පසක් වේ.
අනාගත ඵල වශයෙන් පාළියෙහි දැක්වෙන්නේ ජාතිය හා ජරාමරණය ය. ජාතිය කියා අමුතු දෙයක් නැත. එය නම් විඤ්ඤාණාදි ඵල පඤ්චකය ය. ජරාමරණ යනු ද ඒවායේ ම දිරීම් - බිඳීම් දෙක ය. එබැවින් ජාති ජරාමරණයන් කීමෙන් කියැවෙන්නේ විඤ්ඤාණාදි ඵල පඤ්චකයම ය. එබැවින් විඥාන - නාමරූප - ෂඩායතන - ස්පර්ශ - වේදනා යන මේ පස අනාගත ඵල පඤ්චකය යි දත යුතු.
අතීත හේතු පස - අවිජ්ජා, සංඛාර, තණ්හා, උපාදාන, භව.
වර්තමාන ඵල පස - විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා.
වර්තමාන හේතු පස - තණ්හා, උපාදාන, භව, අවිජ්ජා, සංඛාර.
අනාගත ඵල පස - විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා.
අවයව පස බැගින් ඇති රාශි සතරකින් යුක්ත මේ ධර්ම පරම්පරාව ගරාදි විස්සක් ඇති කරත්ත රෝදයක් වැනි ය. බිම පෙරළෙමින් යන රෝදය වරක් බිමට සිටි තැන උඩට හැරී ගොස්, නැවතත් බිමට පැමිණෙමින් කොතෙක් දුර වුවත් පෙරළෙන්නාක් මෙන්, හේතුවෙන් ඵලයත් නැවත ඵලයෙන් හේතුවත් ඒ හේතුවෙන් නැවත ඵලයත් ඇතිවෙමින් ඉමක් කොණක් නැති ව මෙම හේතු ඵල පරම්පරාව පෙරළෙමින් පවත්නේ ය. මෙය චක්‍රයක් වැනිය යි කියන ලදුයේ එහෙයිනි.
මේ හේතු ඵල පරම්පරාව කර්ම විපාක වශයෙන් ද චක්‍රයකි. මෙහි අතීත හේතු පස කර්ම කොට්ඨාසයට ඇතුළත් ය. වර්තමාන ළුල පස විපාක කොට්ඨාසයට ඇතුළත් ය. වර්තමාන හේතු පස කර්ම කොට්ඨාසයට ඇතුළත් ය. අනාගත ඵල පස විපාක කොට්ඨාසයට ඇතුළත් ය. කර්මය නිසා විපාක ඇති වීමෙන් ද, විපාකය නිසා නැවත කර්මය ඇති වීමෙන් ද, මේ චක්‍රය කර්මක්ෂයකරඥානයෙන් කර්මයන් ක්ෂය කරන තුරු නැවත නැවතත් පෙරළෙමින් පවත්නේ ය.
පටිච්චසමුප්පාදාඞ්ග දොළොසෙන් කොටසක් ක්ලේශයෝ ය. කොටසක් කර්මයෝ ය. කොටසක් විපාකයෝ ය. ක්ලේශයන් නිසා සත්ත්වයෝ කර්ම කෙරෙති. කර්මය නිසා විපාකය වේ. විපාකය නිසා නැවතත් ක්ලේශයෝ පහළ වෙති. ක්ලේශයන්ගෙන් පටන් ගත් ධර්ම පරම්පරාවෙහි නැවතත් ක්ලේශයන් ඇතිවීම, පටන්ගත් තැනට ම පැමිණීම ය. යම්කිසි ධර්ම පරම්පරාවක නැවත පටන් ගත් තැනට ම පැමිණීම වේ නම් ඒ ධර්ම පරම්පරාවට චක්‍රයකැ යි කියනු ලැබේ.
ක්ලේශයන් ගෙන් පටන් ගෙන කර්ම හා විපාක ඇති වී නැවත ද ක්ලේශයන් ඇති වීමෙන් මුලට එන බැවින් මෙය චක්‍රයකි. ක්ලේශ කර්ම විපාක වශයෙන් මේ චක්‍රය මාර්ගඥානයෙන් කෙලෙසුන් නසන තුරු නො සිඳී පවත්නේ ය.
මෙහි අවිද්‍යා තෘෂ්ණා උපාදානයෝ ක්ලේශයෝ ය. කර්මභවය හා සංස්කාරයෝ කර්මයෝ ය. විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා - උපපත්තිභව - ජාති - ජරා - මරණ යන මොවුහු විපාකයෝ ය. නැවත නැවත මතු වී එන්නා වූ ධර්මයන්ට වෘත්තය යි ද කියනු ලැබේ. නැවත නැවත එන්නා වූ අර්ථයෙන් ක්ලේශයෝ ක්ලේශවෘත්ත නම් වෙති. කර්මයෝ කර්ම වෘත්ත නම් වෙති. විපාකයෝ විපාක වෘත්ත නම් වෙති.
මේ සංසාර චක්‍රයෙහි පූර්වාර්ධය අපරාර්ධය යි කොටස් දෙකකි. අවිජ්ජා - සංඛාර - විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා යන මේ ධර්ම සමූහය පූර්වාර්ධය යි. තණ්හා - උපාදන භව - ජාති ජරාමරණය මේ ධර්ම සමූහය අපරාර්ධය යි. පූර්වාර්ධය පටන් ගැනෙනුයේ අවිද්‍යාවෙනි. අපරාර්ධය පටන් ගැනෙනුයේ තෘෂ්ණාවෙනි. එබැවින් අවිද්‍යා තෘෂ්ණා දෙක මෙහි මූල ධර්මයෝ ය. මූල යයි කියනුයේ ඒ ඒ අර්ධයේ ඉතිරි ධර්ම ඒ දෙක නිසා ඇති වන බැවිනි. ඒ දෙක නිසා ඇති වේය යි කියනුයේ ඒ දෙක නැසූ කල්හි ඉතිරි ඒවා පහළ නො වන බැවිනි. මූල ධර්ම දෙක නැසීමෙන් මිස අන් ක්‍රමයකින් ඒ ධර්ම නො නැසිය හැකි ය.
මේ සංසාර චක්‍රය දිග ලණුවක් නැවත නැවත දරණ ගසා තැනූ වළල්ලක් හෙවත් චක්‍රයක් වැනි ය. බොහෝ පටවල් ඇත්තා වූ ඒ වළල්ල එක් වළල්ල කැයි ද ගත හැකි ය. බොහෝ පටවල් නිසා වළලු බොහෝ ගණනකැයි ද ගත හැකි ය. එමෙන් බොහෝ ධර්මයන් ඇත්තා වූ පඹ වළල්ලක් මෙන් අවුල් වූ මේ සංසාර චක්‍රය එක චක්‍රයක් සැටියට ද කිය හැකි ය. චක්‍ර බොහෝ ගණනක් සැටියට ද කිය හැකිය. හේතුඵල චක්‍රය, කර්මවිපාක චක්‍රය, ක්ලේශ කර්ම විපාක චක්‍රය යන මේවා කියන ලදුයේ එහෙයිනි. අවිද්‍යාව නිසා සංස්කාරයෝ ද, සංස්කාරයන් නිසා විඥානය ද, ඉක්බිති නාමරූප ෂඩායතන ස්පර්ශ වේදනාවෝ ද, උපදිති. වේදනාව නිසා නැවත පටන් ගත් ධර්මය වූ අවිද්‍යාව ම ඇතිවන බැවින් පූර්වාර්ධය ද එක් භව චක්‍රයකි. තෘෂ්ණාව නිසා උපාදානය ද, උපාදානය නිසා භවය ද, භවය නිසා ජාතිය ද, ජාතිය නිසා ජරාමරණය ද වී නැවත මූල ධර්මය වූ තෘෂ්ණාව ම ඇතිවන බැවින් අපරාර්ධය ද එක් චක්‍රයක් වේ.
මෙසේ චක්‍ර දෙකක් වෙතත් මේ දෙක පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ චක්‍ර දෙක්ක නො වේ. මේ චක්‍ර දෙක ම පවත්නේ සෑම කල්හි ම එකටම ය. තෘෂ්ණාව ඇතිවීමේ ප්‍රධාන හේතුව වේදනාව ය. වේදනාව වැනි තවත් ආහාරයක් තෘෂ්ණාවට නැත. එබැවින් “වේදනා පච්චයා තණ්හා” යි වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වන බව වදාළ සේක. තෘෂ්ණාව අවිද්‍යාවෙන් තොරව කිසි කලෙක ඇතිවන්නක් නො වේ. තෘෂ්ණාව උපදිතොත් සැමකල්හි එය සමග අවිද්‍යා ද උපදනේය. එතැන දී අවිද්‍යාව සංස්කාරයන්ට හේතු වීමෙන් සංස්කාර නිසා විඥානාදිය වීමෙන් පූර්වාර්ධ චක්‍රය වේ. තෘෂ්ණාව උපාදානයන්ට හේතු වීමෙන් අපරාර්ධ චක්‍රය වේ. මෙය තේරුම් ගැනීම අපහසු අවුල් තැනකි. නැවත නැවත සිතා බලා කාරණය තේරුම් ගනිත්වා.
“තත්ථ පුරිමං දිට්ඨිචරිතවසේන වුත්තං. පච්ඡිමං තණ්හාචරිතවසේන” යනුවෙන් මේ චක්‍ර දෙකින් පූර්‍ව වූ අවිද්‍යා මූලික චක්‍රය දෘෂ්ටිචරිතයා ගේ වශයෙන් ද තෘෂ්ණා මූලික පශ්චිම චක්‍රය, තෘෂ්ණා චරිතයා ගේ වශයෙන් ද දේශනය කරන ලදැ යි අටුවාවෙහි කීහ. එයට හේතු වශයෙන් දෘෂ්ටිචරිතයා ගේ සංසාර ප්‍රවෘත්තිය කරන ධර්මය අවිද්‍යාව බවත් තෘෂ්ණා චරිතයා ගේ සංසාරය පවත්වන ධර්මය තෘෂ්ණාව බවත් දැක්විණ.
තවද :- “උච්ඡේදදිට්ඨිසමුග්ඝාතාය වා පඨමං, ඵලූප්පත්තියා හේතූනං අනුපච්ඡේදප්පකාසනතෝ, සස්සත දිට්ඨිසමුග්ඝාතාය වා දුතියං, උප්පන්නානං ජරා මරණප්පකාසනතෝ” යි ඵලය ඉපදීමෙහි හේතූන් ගේ නො සිඳ පැවැත්ම දක්වන බැවින් පළමුවන චක්‍රය උච්ඡේද දෘෂ්ටිය දුරුකිරීම පිණිස වදාළහ යි ද, උපන් ධර්මයන්ගේ ජරාමරණය ප්‍රකාශ කරන හෙයින් දෙවන චක්‍රය ශාශ්වතදෘෂ්ටිය නැසීම පිණිස වදාළහ යි ද දැක්විණි.
තවද:- “ගබ්භසෙය්‍යකවසේන පුරිමං. අනුපුබ්බප්පවත්ති දීපනතො, ඕපපාතිකවසේන පච්ඡිමං, සහුප්පත්ති දීපනතො” යි පිළිවෙලින් පැවැත්ම දක්වන බැවින් පූර්‍ව චක්‍රය මවුකුස උපදනා සත්ත්වයන්ගේ වශයෙන් ද, එකවර පහළවීම දක්වන බැවින් දෙවැන්න ඕපපාතික සත්ත්වයන් ගේ වශයෙන් ද වදාළහ යි දැක්විණ.
“සච්චප්පභවතෝ කිච්චා වාරණා උපමාහි ච,
ගම්භීර නය භේදා ව විඤ්ඤාතබ්බං යථාරහං”
යනුවෙන් දැක්වෙන පරිදි මේ භව චක්‍රය ඒ ඒ අංගය ඇති කරන්නා වූ සත්‍යයන් ගේ වශයෙන් ද, කෘත්‍ය වශයෙන් ද, දෘෂ්ටිනිවාරණයා ගේ වශයෙන් ද, උපමා වශයෙන් ද, ගම්භීර භාවයා ගේ වශයෙන් ද, නය ප්‍රභේද වශයෙන් ද දත යුතු ය.
“තණ්හා ච අවසේසා ච කිලේසා අවසේසා ච අකුසලා ධම්මා තිණී ච කුසලමූලානි සාසවානි අවසේසවා ච සාසවා කුසලා ධම්මා අයං වුච්චති දුක්ඛසමුදයෝ” යනුවෙන් තෘෂ්ණාව ද, අවශේෂ ක්ලේශයෝ ද, අවශේෂාකුශල ධර්මයෝ ද, සාශ්‍රව කුශල මූලයෝ තිදෙන ද, අවශේෂාශ්‍රව කුශල ධර්මයෝ ද යන මෙය දුඃඛසමුදය සත්‍යය යි විභංග පාළියෙහි වදාළ ක්‍රමයෙන් මේ භව චක්‍රයට අයත් ධර්මයන්ගෙන් කර්ම පක්‍ෂයට හා ක්ලේශ පක්‍ෂයට අයත් අංගයෝ සමුදය සත්‍යයට අයත් වන්නාහ. ඉතිරි ධර්මයෝ දුඃඛ සත්‍යයට අයත් වන්නාහ.
ද්වාදශාංගයන් අතුරෙන් අවිද්‍යාව ක්ලේශයක් හෙයින් කියන ලද ක්‍රමයේ සැටියට සමුදය සත්‍යයට අයත් ය. අවිද්‍යා හේතුවෙන් හටගන්නා වූ සංස්කාරය ද, සමුදය සත්‍යයට ම අයත් ය. එබැවින් සංස්කාරය අවිද්‍යා සංඛ්‍යාත සමුදය සත්‍යයෙන් පටන් ගැනෙන්නා වූ ගළා එන්නා වූ සමුදය සත්‍යයකි. විඥානය සංස්කාර සංඛ්‍යාත සමුදය සත්‍යයෙන් ගළා එන්නා වූ දුඃඛසත්‍යය යි. ෂඩායතනය නාම රූප සංඛ්‍යාත දුඃඛසත්‍යයෙන් එන්නා වූ දුක්ඛ සත්‍යය යි. ස්පර්ශය ෂඩායතන සංඛ්‍යාත දුඃඛ සත්‍යයෙන් එන්නා වූ දුඃඛසත්‍යය යි. වේදනාව ස්පර්ශ සංඛ්‍යාත දුඃඛසත්‍යයෙන් එන්නා වූ දුක්ඛසත්‍යය යි. තෘෂ්ණාව වේදනා සංඛ්‍යාත දුඃඛසත්‍යයෙන් එන්නා වූ සමුදය සත්‍යය යි. උපාදානය තෘෂ්ණා සංඛ්‍යාත සමුදය සත්‍යයෙන් එන්නා වූ සමුදය සත්‍යය යි. භවය උපාදාන සංඛ්‍යාත සමුදය සත්‍යයෙන් එන්නා වූ සමුදය දුඃඛ සත්‍යය දෙක ය. ජාතිය කර්මභව සංඛ්‍යාත සමුදය සත්‍යයෙන් එන්නා වූ දුඃඛසත්‍යය යි. ජරා මරණය ජාති සංඛ්‍යාත දුඃඛසත්‍යයෙන් එන්නා වූ දුඃඛසත්‍යය යි. මෙසේ මේ භවචක්‍රය සත්‍ය වශයෙන් දත යුතු ය. පහසුවෙන් තේරුම් ගැනීමට මෙම සටහන බලනු.
අවිද්‍යාදීන් ගේ කෘත්‍යයෝ මෙසේ දත යුතු. රූපාදි ආරම්මණ විෂයෙහි සත්ත්වයන් මුළා කරවීම හා සංස්කාරයන් පහළ කරවීම අවිද්‍යාව ගේ කෘත්‍ය යි. කුසලාකුසල ක්‍රියා සිදුකිරීම හා විපාක විඥානයන් පහළ කරවීම සංස්කාරයන් ගේ කෘත්‍යයයි. රූපාදිය දැන ගැනීම හා නාමරූප පහළ කරවීම විඥානයා ගේ කෘත්‍යය යි. ඔවුනොවුන්ට උපකාරීවීම හා ෂඩායතනය පහළ කරවීම නාමරූපයා ගේ කෘත්‍යය යි. රූපාදි අරමුණු පිළිගැනීම හා ස්පර්ශය ඇති කිරීම ෂඩායතනයා ගේ කෘත්‍යය යි. අරමුණු ස්පර්ශ කිරීම හා වේදනාව පහළ කරවීම ස්පර්ශයා ගේ කෘත්‍යය යි. ආරම්මණ රසය විඳීම හා තෘෂ්ණාව ඇති කරවීම වේදනාව ගේ කෘත්‍යය යි. ඇලුම් කළ යුත්තෙහි ඇලීම හා උපාදානය පහළ කරවීම තෘෂ්ණාව ගේ කෘත්‍යය යි. ආත්මාදි වශයෙන් තදින් ගැනීම හා භවය පහළ කරවීම උපාදානයා ගේ කෘත්‍යය යි. නානා ගතීන්ට පැමිණවීම හා ජාතියට ප්‍රත්‍යවීම භවයා ගේ කෘත්‍යය යි. ස්කන්ධයන් පහළ කරවීම හා ජරා මරණයට ප්‍රත්‍යයවීම ජාතිය ගේ කෘත්‍යය යි. ස්කන්ධයන් ගේ දිරීම් බිඳීම් දෙක සිදුකිරීම හා ශෝකාදියට ස්ථාන වී භවාන්තරයන් ඇති කිරීම ජරාමරණයා ගේ කෘත්‍යය යි.
මෙසේ කෘත්‍යයන් ගේ වශයෙන් ද අවිද්‍යාදීහු දත යුත්තාහු ය. හුදෙක් ආත්ම නො වන්නා වූ සත්ත්ව පුද්ගල නො වන්නා වූ ශුද්ධ වූ ධර්මයන් නිසා තවත් ධර්මයන් ඇතිවීමෙන් මෙ සංසාර චක්‍රය පවත්නේ ය. මෙහි ඒ ඒ ක්‍රියා සිදු කරන්නා වූ සැපදුක් විඳවන්නා වූ අධිපතියෙක් ද නැත. කරන්නා වූ විඳින්නා වූ අන් කෙනෙක් ද නැත.
1. ඒවං සමුප්පන්නමිදං සහේතුකං
දුක්ඛං අනිච්චං චලමිත්තරද්ධුවං
ධම්මේහි ධම්මා පහවන්ති හේතුසෝ
නහෙත්ථ අත්තා ච පරො ච විජ්ජති.
-
2. ධම්මා ධම්මේ සඤ්ජනෙන්ති හේතුසම්භාර පච්චයා
හේතූනඤ්ච නිරෝධාය ධම්මෝ බුද්ධේන දේසිතෝ
හේතූසු උපරුද්ධෙසු ඡින්නං වට්ටං න වට්ටති.
-
3. ඒවං දුක්ඛංන්තකිරියාය බ්‍රහ්මචරියිධ විජ්ජති,
සත්තේ ච නූපලබ්භන්තේ නෙවුච්ඡේදෝ න සස්සතං
(විභංගට්ඨ කථා)
තේරුම:-
සංසාර චක්‍රයා ගේ තත්ත්වය නො දැනීම නිසා ඇති වන්නා වූ වැරදි හැඟීම් දෘෂ්ටි නම් වෙති. මේ පටිච්චසමුප්පාදයේ සැම වැකියකින් ම යම් කිසි වැරදි හැඟීමක් වළක්වනු ලැබේ. අවිජ්ජාපච්චයා සංඛාරා යන මෙයින් පින් පව් කරන්නකු නැතිව අවිද්‍යාව නිසා “පින් පව් ඇති වන බව දැක්වීමෙන් පින් පව් කරන කෙනකු ඇතය” යන වැරදි හැඟීම (ආත්ම දෘෂ්ටිය) වළක්වනු ලැබේ.
සංඛාරාපච්චයා විඤ්ඤාණං යන මෙයින් වර්තමාන භවයෙන් අනාගත භවයට කිසිවක් නො ගොස් පින් පව් නිසා අනාගත භවයේ අභින විඥානයක් පහළ වීම දැක්වීමෙන් “ආත්මය එක් ජාතියකින් අන් ජාතියකට යේ ය” යන වැරදි හැඟීම දුරු කරනු ලැබේ.
විඤ්ඤාණපච්චයා නාමරූපං යන මෙයින් විඥානය නිසා නාම රූප වශයෙන් ධර්ම දෙකොටසක් හට ගන්නා බව දැක්වීමෙන් “නාමරූප සියල්ල සත්ත්වයා වූ එක් දෙයක් ලෙස ගන්නා වැරදි හැඟීම” (ඝනසංඥාව) වළක්වනු ලැබේ.
නාමරූපපච්චයා සළායතනං යන්නෙන් රූපාදි අරමුණු ගන්නා වූ ආයතන සය දැක්වීමෙන් “ආත්මය තෙමේ ලෝකය දන්නේය, ශබ්ද අසන්නේය, ගන්ධ රස ස්ප්‍රෂ්ටව්‍ය ධර්මයන් දන්නේ ය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.
සළායතනපච්චයා ඵස්සෝ යන්නෙන් ස්පර්ශය එක්තරා ධර්මයක් බව දැක්වීමෙන් “ආත්මය තෙමේ ස්පර්ශ කරන්නේ ය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.
ඵස්සපච්චයා වේදනා යන්නෙන් සැප දුක් දෙක ස්පර්ශය නිසා වන්නා වූ ධර්මයක් බව දැක්වීමෙන් “ආත්මය සුව දුක් විඳී ය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.
වේදනාපච්චයා තණ්හා යනුවෙන් තෘෂ්ණාව වේදනාව නිසා ඇති වන ධර්මයක් බව දැක්වීමෙන් “ආත්මය තෙමේ රූපාදියට ඇලුම් කෙරේය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.
තණ්හාපච්චයා උපාදානං යනුවෙන් උපාදානය තෘෂ්ණාව නිසා ඇති වන්නක් බව දැක්වීමෙන් “සත්ත්වයා රූපාදිය දැඩි සේ ගන්නේ ය. අයත්කර ගන්නේ ය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.
උපාදානපච්චයා භවො යනුවෙන් “ආත්මය පින් පව් කරන්නේ ය, ඒ ඒ භවයට යන්නේ ය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.
භවපච්චයා ජාති යනුවෙන් “සත්ත්වයා උපදින්නේය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.
ජාතිපච්චයා ජරාමරණං යනුවෙන් “ආත්මය දිරන්නේ ය මැරෙන්නේ ය යන වැරදි හැඟීම” වළක්වනු ලැබේ. මෙසේ දෘෂ්ටි නිවාරණයා ගේ වශයෙන් ද ප්‍රතීත්‍යසමුත්පාද දේශනය දත යුතු ය.
උපමාවකින් දැක්වූ කල්හි අප්‍රකටාර්ථය පහසුවෙන් අවබෝධ වේ. එබැවින් පණ්ඩිතයෝ අප්‍රකටාර්ථයන් ප්‍රකාශ කිරීමේ දී නොයෙක් උපමා දක්වති. එය ගුප්තාර්ථයන් ප්‍රකට කිරීමට ඇති ඉතා හොඳ ක්‍රමයකි. සමහර අප්‍රකටාර්ථයන් දැක්වීමට උපමා ද නැත. උපමා සොයා ගත හැක්කේ අප්‍රකටාර්ථයන්ගෙන් සමහරක් පමණක් ප්‍රකට කිරීමටය. ප්‍රතීත්‍යසමුත්පාදය ඉතා ගැඹුරු ධර්මයකි. එකකින් ම එය අවබෝධ කරවීමට සෑහෙන උපමාවක් සොයා ගෙන නැත. පූර්වචාර්‍ය්‍යවරයෝ පටිච්චසමුප්පාදය දැක්වීමට අන්ධෝපමාවක් ගත්හ. එයින් ද පටිච්චසමුප්පාදය ප්‍රකට කළ හැක්කේ ඉතා මඳ වශයෙනි. එපමණට වත් එයට සුදුසු වන අන් උපමාවක් නුදුටු බැවින් මෙහි ද එය ම දක්වනු ලැබේ. ඒ මෙසේ ය.
එක ගමක අන්ධයෙක් විය. නො පෙනී ඒ මේ අත යන්නා වූ ඔහුගේ පය දිනක් මුලක පැකිළිණ. එයින් හෙතෙමේ බිම ඇද වැටිණ. එයින් ඔහුගේ දණහිසෙහි මහ ගෙඩියක් මතු විය. ගෙඩිය මෝරා පැසවා ගෙන එන කල්හි සිදුරු වුණ තැන්වල කුඩා බිබිලි සයක් මතු විය. ඒ බිබිලි ද ගසක සැපිණ. එයින් බලවත් වේදනාවක් හටගත. ඔහුට වේදනාවට ප්‍රතිකාරයක් ගැනීමේ ආශාව ඇති විය. ඔහු වෙදකු වෙත ගොස් නො මනා බෙහෙතක් ගති. නො මනා බෙහෙත ගෙඩියෙහි ගැල්විය. එයින් ගෙඩියෙහි තවත් නපුරු ලකුණු පහළ විය. එයින් ගෙඩිය නපුරු ලෙස පුපුරා අන්ධයා තවත් දුකට පත් විය. මේ අන්ධෝපමාව ය.
චතුරාර්‍ය්‍ය සත්‍යය හා ධර්මයන් ගේ අනිත්‍යාදි සාමාන්‍ය ලක්‍ෂණ හා ඒ ඒ ධර්මයට පමණක් අයත් විශේෂ ලක්‍ෂණ ද නො දක්නා බැවින් අවිද්‍යාව අන්ධයා වැනි ය.
අන්ධයා නො මඟ ගොස් මුලේ පැටළෙන්නේ නො පෙනීම නිසා ය. එමෙන් ආර්‍ය්‍යසත්‍යයන් නො පෙනෙන බැවින් සත්ත්වයා පැමිණ තිබෙන දුකින් මිදීමේ හා සැපය ලැබීමේ ද බලාපොරොත්තුවෙන් තවත් දුක් ඇති වීමට තවත් සසර දික් වීමට හේතු වූ කර්ම කරන්නේ ය. කර්ම නම් අවිද්‍යා හේතුවෙන් වන්නා වූ සංස්කාරයෝ ය. නො දැනීම නිසා වන ඒ සංස්කාරයෝ අන්ධයා ගේ පැකිළීම වැනි ය.
පැකිළීමෙන් වනුයේ බිම ඇද වැටීම ය. සංස්කාර සංඛ්‍යාත පින් පව් කිරීමෙන් වනුයේ ද සුගති දුර්ගති දෙකට වැටීම ය. සුගති දුර්ගතීන්ට වැටීම නම් සංස්කාර හේතුවෙන් විඥානය පහළ වීම ය. එබැවින් සංස්කාර හේතුවෙන් පහළ වන විඥානය, අන්ධයා ගේ බිම ඇද වැටීම වැනි ය.
නාමරූපය වනුයේ භවයට වැටීම වූ විඥානය නිසා ය. එබැවින් නාමරූපය, වැටීම නිසා අන්ධයා ගේ දණහිසැ මතු වූ ගෙඩිය වැනිය.
ගෙඩියක් මෝරන කල්හි එහි රැස් වුණු ලේ සැරව පිට කරන සිදුරු සෑදෙන ස්ථානයන්හි පළමුවෙන් කුඩා බිබිලි මතු වේ. බිබිලි පුපුරා සිදුරු වී ඒ තැන්වලින් ලේ සැරව ගලන්නට පටන් ගනී. නාමරූපය මෝරන කල්හි එය හා බැඳී ෂඩායතනයෝ පහළ වෙති. ඒවායින් කැරෙනුයේ ද ගෙඩියෙන් ලේ සැරව ගලන්නාක් මෙන් රූප ශබ්දාදි ආරම්මණ විෂයෙහි ලෝභාදි කෙලෙස් සැරව ගැලීම ය. එබැවින් ෂඩායතනය, අන්ධයා ගේ බිබිලි සය වැනි ය.
අන්ධයා හට යම්කිසිවක නො සැපෙන සේ ගෙඩිය නො රැකිය හැකි ය. එය කවදා හෝ යම් කිසිවක සැපෙන්නේ ය. එමෙන් රූපාදිය හා ගැටීමට සුදුසු පරිදි පහළ වූ ෂඩායතනය කවර අවස්ථාවකදී හෝ රූපාදීන් හා ගැටෙන්නේ ය. අන්ධයා ගේ බිබිලි ගසේ සැපීම වේදනාව ඇතිවීමට හේතුව වන්නාක් මෙන් ෂඩායතනයන් ගේ රූපාදිය හා ගැටීම ද වේදනාවට හේතුවක් වන බැවින් ෂඩායතන හේතුවෙන් වන ඵස්ස ය, අන්ධයා ගේ ගෙඩියේ බිබිලි ගසේ සැපීම වැනි ය.
අන්ධයාට ඇති වූ වේදනාව සැපීම නිසා ඇති වූවකි. එමෙන් ස්පර්ශ නිසා ඇතිවන වේදනාව ද ෂඩායතනය රූපාදියෙහි ගැටීමෙන් ඇතිවන්නක් බැවින් අන්ධයා ගේ වේදනාව වැනි ය.
වේදනාවෙන් පීඩිත අන්ධයාහට එය නො ඉවසිය හැකි බැවින් එයට බෙහෙතක් සොයා ගැනීමේ ආශාව ඇති වේ. එමෙන් ෂඩායතනයෙහි රූපාදිය සැපුණු කල්හි ඇති වූ වේදනාව නිසා සත්ත්වයාට ඒ රූපාදිය පිළිබඳව තෘෂ්ණාවක් ඇති වේ. ඒ තෘෂ්ණාව වේදනාවෙන් කෙරෙන පීඩනයට ප්‍රතිකාර සෙවීමක් වැනි බැවින් අන්ධයා ගේ බෙහෙත් සොයා ගැනීමේ ආශාව වැනි ය.
තෘෂ්ණා ඇති වූ කල්හි සත්ත්වයා තමාට හොඳක් කර ගන්නා අටියෙන් තෘෂ්ණාව ඇති වූ දෙය ලබා ගෙන අයත් කරගෙන තවත් තෘෂ්ණාව දැඩි කර ගනී. රූපාදිය ආත්ම වශයෙන් ද දැඩි කොට ගනී. ඒ ගැනීම උපාදානය යි. හොඳක් කරගන්නා අටියෙන් එසේ කළත් එයින් වන්නේ වඩාත් නපුරකි. එබැවින් උපාදානය අන්ධයා ගේ නොමනා බෙහෙත ගැනීම වැනි ය.
රූපාදිය ආත්ම වශයෙන් හා ආත්මයට අයත් දේ වශයෙනුත් දැඩි කොට ගත් සත්ත්ව තෙමේ ඒවා ආරක්ෂාකර ගැනීම පිණිසත් නැවත නැවත ලබා ගනු පිණිසත් භවගාමි කර්මයන් කරයි. අන්ධයා විසින් නො මනා බෙහෙත ගෙඩියෙහි ගැල්වීම තවත් දුක් ඇති වීමට හේතු වන්නාක් මෙන් කර්ම රැස් කිරීම තවත් දුක් ඇති වීමේ හේතුවක් වන බැවින් උපාදාන ප්‍රත්‍යයෙන් වන්නා වූ කර්ම සංඛ්‍යාත භවය අන්ධයා ගේ නො මනා බෙහෙත ගැල්වීම වැනි ය.
කර්මභවය නිසා නැවත ද භවයක ඉපදීම වූ ජාතිය නො මනා බෙහෙත ගැල්වීමෙන් අන්ධයාගේ ගෙඩියට අළුතෙන් එක් වූ ලේසැරව වැනි ය.
ජාතිය නිසා හටගන්නා වූ ජරාමරණය වඩ වඩා ලේ සැරව එක්වීමෙන් අන්ධයා ගේ ගෙඩිය පුපුරා යාම වැනි ය. මෙසේ අන්ධෝපමාවෙන් පටිච්චසමුප්පාදය දත යුතු ය.
මේ පටිච්චසමුප්පාදය අර්ථ වශයෙන් ද, ධර්ම වශයෙන් ද, දේශනා වශයෙන් ද, ප්‍රතිවේධ වශයෙන් ද ඉතා ගැඹුරු ය. පත්ල නො සෙවිය හැකි පමණට ගැඹුරු ය.
අර්ථ යන මේ වචනය නොයෙක් අර්ථයන් දැක්වීමට ව්‍යවහාර කරන වචනයකි. මේ තන්හි අර්ථය යි කියනුයේ හේතුවේ ඵලයට ය. පටිච්චසමුප්පාදය හේතුඵල පරම්පරාවකි. ජරාමරණය එහි එක් ඵල ධර්මයකි. එහි හේතුව ජාතිය ය. ජාතිය වුවහොත් ජරාමරණය නො වන්නේ නොවේ. ජාතියෙන් ම මිස අනෙකකින් ජරාමරණ වන්නේ ද නො වේ. එහෙත් ජාතිය නිසා ජරාමරණය ඇතිවන සැටි අවබෝධ කර ගැනීම දුෂ්කර ය. එබැවින් ජරා මරණයාගේ ජාතිය නිසා ඇති වූ බව, ජාතියෙන් ආ බව ගැඹුරු ය.
ජාතිය ද කර්මභවය ගේ ඵලයෙකි. කර්මභවය ඇති කල්හි අප්‍රහීණ ක්ලේශයන් ඇති සත්ත්වයා හට ජාතිය නො වන්නේ ද නො වේ. කර්මභවය නැති කල්හි ඒ ජාතිය අන් හේතුවකින් වන්නේ ද නොවේ. භවය ඇති කල්හි භවය නිසා ඒ ජාතිය මේ ආකාරයෙන් වේය යන්න අවබෝධ කර ගැනුම අපහසු බැවින් ජාතියාගේ භවය නිසා ඇති වූ බව, පහළ වී ආ බව ගැඹුරු ය.
භවය උපාදානයාගේ ඵලයෙකි. උපාදානය ඇති වුව හොත් භවය නො වී නවතින්නේ ද නො වේ. උපාදානයා ගේ හේතුත්ත්වය නො ලබා අනෙකකින් භවය වන්නේ ද නො වේ. භවයාගේ මේ උපාදාන හේතුවෙන් හටගන්නා වූ ආකාරය අවබෝධ කිරීමට අපහසු ය. එබැවින් භවයාගේ උපාදානය නිසා හටගත් බව, උපාදානය නිසා පහල වී ආ බව ගැඹුරු ය.
උපාදානය තෘෂ්ණාවේ ඵලයකි. තෘෂ්ණාව ඇති වුවහොත් උපාදාන නො පහළ වන්නේ නො වේ. උපාදානය ද තෘෂ්ණාව නැති ව අන් හේතුවකින් පහල වන්නේ ද නො වේ. උපාදානයා ගේ තෘස්ණා හේතුවක් ඇති වන්නා වූ ආකාරය දුරවබෝධ ය. එබැවින් උපාදානයාගේ තෘෂ්ණා හේතුවෙන් හටගත් බව ගැඹුරු ය.
තෘෂ්ණාව වේදනාවගේ ඵලයෙකි. වේදනාව ස්පර්ශයාගේ ඵලයකි. ස්පර්ශය ෂඩායතනයාගේ ඵලයෙකි. ෂඩායතනය නාම රූපයාගේ ඵලයෙකි. නාමරූපය විඥානයාගේ ඵලයකි. විඥානය සංස්කාරයන්ගේ ඵලයකි. සංස්කාරය අවිද්‍යාවගේ ඵලයකි. මේ ඵල ධර්මයන්ගේ ගැඹුරු බව ද කියන ලද ඒවාට අනුව සිතා ගත යුතු ය. මෙසේ මේ පටිච්චසමුප්පාදය අර්ථ වශයෙන් ගැඹුරු වේ.
ධර්ම යනු ද නොයෙක් අර්ථයන්හි යෙදෙන වචනයකි. මේ ගම්භීර කථාවෙහි ධර්මය යි කියනුයේ හේතුවට ය. පටිච්චසමුප්පාදාංගයෝ දොළොස් දෙන ම ඵල පමණක් නොව හේතූහු ද වෙති. හේතුව පිළිබඳ වූ දුරවබොධත්වය ධර්ම ගම්භීරත්වය යි. අවිද්‍යාව සංස්කාරයන්ගේ හේතුව ය. එය කවර ආකාරයකින් කවර අවස්ථාවක දී සංස්කාරයන්ට හේතු වේ ද යන බව තේරුම් ගැනීමට අපහසු ය. එබැවින් අවිද්‍යාවගේ සංස්කාරයන්ට ප්‍රත්‍යය වන බව ගැඹුරු ය. එසේ ම සංස්කාරාදීන් ගේ විඥානාදි ඵලයන්ට ප්‍රත්‍යය වන සැටි ද ගැඹුරු ය. මේ පටිච්චසමුප්පාදයාගේ ධර්මගම්භීරත්වය යි.
පරම ගම්භීර ධර්මයක් වූ මේ ප්‍රතීත්‍යසමුත්පාදය දේශනා කිරීම ද පහසු කාර්‍ය්‍යයක් නො වේ. බුදුවරයන්ගෙන් අන්‍යයන් පටිච්චසමුප්පාදය දේශනා කරනුයේ බුදුන් වහන්සේ දෙසූ පරිද්දෙනි. ප්‍රථමයෙන්ම මෙය සොයාගෙන දේශනා කළ හැක්කේ බුදුවරයන්ට පමණෙකි. බුදුන් වහ්නසේ විසින් දේශිත පටිච්චසමුප්පාදය විස්තර කිරීම වුව ද අන්‍යයන්ට ලෙහෙසි වැඩක් නො වේ. එබැවින් බුදුගොස් මාහිමියෝ පටිච්චසමුප්පාදය වර්ණනා කිරීමට පටන් ගන්නා අවස්ථාවේ දී මෙසේ පැවසූ හ.
“චත්තුකාමො අහං අජ්ජ පච්චයාකාර වණ්ණනං
පතිට්ඨං නාධිගච්ඡාමි අජ්ඣා ගාළ්හො ව සාගරං”
“ප්‍රතීත්‍යසමුත්පාද වර්ණනාව කියනු කැමති මම අද මහමුහුදට වැටුණු එකකු සේ පිහිටක් නො ලබමිය” යනු එහි තේරුම යි. ත්‍රිපිටක ධර්ම විෂයෙහි සුනිපුන බුද්ධියක් ඇත්තා වූ අර්ථකථාචාර්යයන් වහ්නසේ එසේ කීයේ එහි ඇති දුෂ්කරත්වය නිසාම ය.
බුදුන් වහන්සේ විසින් මේ ගම්භීර ධර්මය ඒ ඒ ආකාරයෙන් දෙසූ කල්හි අවබෝධ කරන්නා වූ සත්ත්වයනට අනුරූප පරිදි සමහර සූත්‍රයක දී මුල ටපන් අග දක්වා ද, සමහර සූත්‍රයක දී අග පටන් මුල දක්වා ද, සමහර සූත්‍රයක දී ඒ දෙපරිද්දෙන්ම ද, සමහර සූත්‍රයකදී ත්‍රිසන්ධියකින් හා රාශි සතරකින් යුක්ත කොට ද, සමහර සූත්‍රයක දී සන්ධි දෙකකින් හා රාශි තුනකින් යුක්ත කොට ද, සමහර සූත්‍රයක දී එක් සන්ධියකින් හා රාශි දෙකින් යුක්ත කොට ද දේශනය කළ සේක. නානා ආකාරයෙන් පටිච්චසමුප්පාදය දක්වා දේශිත සූත්‍ර බොහෝ ගණනක් නිදාන වග්ග සංයුත්තකයෙහි ඇත්තේ ය. විභංගපාළියේ පටිච්චසමුප්පාද විභංගයෙහි අනේකාකාර පටිච්චසමුප්පාද දේශනා සිය ගණනෙකි. මෙසේ පටිච්චසමුප්පාදය පිළිබඳ වූ තථාගතයන් වහන්සේ ගේ දේශනය ද අනේකාකාර විචිත්‍ර බැවින් ගැඹුරු ය.
ප්‍රතිවේධ වශයෙන් ගැඹුරු බව මෙසේ දත යුතු. ඥානය වනාහි අනුමාන ඥානය - ප්‍රත්‍යක්ෂ ඥානයි දෙවැදෑරුම් වේ. ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ලද්දට අනුව නො දක්නා ලද්ද ද තේරුම් ගන්නා ඥානය අනුමාන ඥානය යි. ගින්නේ දුම් නගින බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්නා ලද්දකි. දුර දුරමක් පෙනෙන කල්හි එහි ද ගින්නක් ඇතය යි දක්නා ලද්දට අනුව සිතා ගත හැකි ය. එය අනුමාන ඥානය යි. එය සමහර විට සත්‍ය ද වෙයි. සමහර විට අසත්‍ය ද වෙයි.
ඇසින් දක්නාක් මෙන් ම ඇසට නො පෙනෙන දෙය ද තත්වාකාරයෙන් දැකිය හැකි ඥානය ප්‍රත්‍යක්‍ෂ ඥානය යි. ප්‍රතිවේධය යි කියනුයේ ද ඒ ප්‍රත්‍යක්‍ෂ ඥානයට ය. අනුමාන ඥානය වනාහි අඳුරෙහි දී දුටු දෙයක් පිළිබඳව ඇති දැනුම වැනි ය. ප්‍රතිවේධ ඥානය සූර්‍ය්‍යාලෝකයේ දී දුටු දෙයක් පිළිබඳව ඇති දැනුම වැනි ය. ප්‍රතිවේධ සංඛ්‍යාත විශිෂ්ට ඥානය පියවි ඇසට නො පෙනෙන දෑ පෙන්වන කන්නාඩියක් වැනිය යි ද කිය යුතු ය. ඇසට හා අනුමාන ඥානයට හසු නො වන ඉතා අප්‍රකට කරුණු දත හැක්කේ ප්‍රතිවේධය යි කියන විශිෂ්ට ඥානයෙනි.
සාමාන්‍ය ඥානයට හසු නො වන විශිෂ්ට ඥානයෙන් දතයුතු වූ අප්‍රකට දේවලට ද ප්‍රතිවේධ යන නාමය කියනු ලැබේ. මෙම ගම්භීරභාව කථාවෙහි ප්‍රතිවේධ යන වචනයෙන් අදහස් කරනුයේ විශිෂ්ට ඥානයෙන් ම දතයුතු ස්වභාවයෝ ය.
පටිච්චසමුප්පාදයට අයත් වූ අවිද්‍යාදි ධර්මයන් ගේ සාමාන්‍ය ඥානයට හසු නොවන බොහෝ දුරවබෝධ ස්වභාවයෝ ඇත්තාහ. ඒවා ඉතා ගැඹුරු ය. පටිච්චසමුප්පාදයෙහි ප්‍රතිවේධ ගම්භීර භාවය නම් ඒ ස්වභාවයන් ගේ ගැඹුරු බව ය. ඒ ඒ පටිච්චසමුප්පාදංගයන්හි ඇති ගම්භීරත්වය විභංග අටුවාවෙහි දැක්වූ ආකාරය මෙසේ ය:
“අවිජ්ජාය අඤ්ඤාණා දස්සනසච්චා සංපටිවේධට්ඨෝ ගම්භීරෝ”
තේරුම:-
අවිද්‍යාව ගේ ඥානයට ප්‍රතිපක්‍ෂ බව වූ නොදැනීමය, අරමුණුවල තත්ත්වාකාරය දැකීමට ප්‍රතිපක්‍ෂ බව වූ නො දක්නා ස්වභාවය ය, චතුරාර්‍ය්‍යසත්‍යය දක්නට නො දී වසා ගෙන සිටින ස්වභාවය ය යන මේවා ගැඹුරු ය.
“සංඛාරානං අභිසංඛරණායුහනසරාගවිරාගට්ඨෝ (ගම්භීරෝ)”
සංස්කාරයන්ගේ ස්කන්ධයන් ඇති කරන බව ය, ප්‍රාණඝාතාදි වූ ද දානාදි වූ ද ක්‍රියා සිද් කරන බව ය, රාගයට අනුකූල බවය, රාගයට ප්‍රතිපක්‍ෂ බවය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“විඤ්ඤාණස්ස සුඤ්ඤත අව්‍යාපාර අසංකන්ති පටිසන්ධි පාතුභාවට්ඨෝ (ගම්භීරෝ)”
විඥානයාගේ ආත්ම ස්වභාවයෙන් හිස් බව ය, දැනගැනීම සුවදුක් විඳීම භවයෙන් භවයට යාම යනාදිය පිළිබඳ ව්‍යාපාරයක් නැති බව ය, නො ගොස් ම ප්‍රතිසන්ධිය ඇති වන බව ය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“නාමරූපස්ස ඒකුප්පාද විනිබ්භෝගා විනිබ්භෝගමනරුප්පනට්ඨෝ (ගම්භීරෝ)”
නාමරූපයා ගේ එකට උපදනා බවය, අමිශ්‍ර ව පවත්නා බවය, මිශ්‍ර ව පවත්නා බවය, නැමෙන බවය, විකාරයට පැමිණෙන බවය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“සළායතනස්ස අධිපතිලෝකද්වාරඛෙත්තවිසය විසිභාවට්ඨෝ (ගම්භීරෝ)”
ෂඩායතනයා ගේ දර්ශනාදියෙහි අධිපති භාවය, ලෝක භාවය, ද්වාර භාවය ය, ක්ෂේත්‍රභාවය ය, විෂය භාවය ය, විෂයීභාවය ය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“එස්සස්ස ඵුසනසංඝට්ඨන සංගතිසන්නිපාතට්ඨෝ (ගම්භීරෝ)”
අරමුණු ස්පර්ශ කරන බවය, අරමුණෙහි ගැටෙන බවය, වස්ත්වාරම්මණ චිත්තයන්ගේ එක් වන බවය, එක් තැනකට වැටෙන බවයයන මේ ස්පර්ශයා ගේ ස්වභාවයෝ ගැඹුරු ය.
“වේදනාය ආරම්මණරසානුභවනසුකදුක්ඛමජ්ඣත්තභාවනිජ්ජි වේදයිතට්ඨෝ (ගම්භීරෝ)”
වේදනාවගේ අරමුණ රසය වළඳන ස්වභාවය ය, සුඛදුඃඛමධ්‍යස්ථස්වභාවය ය, සත්ත්වයකු නො වී අරමුණු රස විඳින ස්වභාවය ය යන මේවා ගැඹුරු ය.
“තණ්හාය අභිනන්දිතජ්ඣෝසාන සරිතාලතානදි තණ්හාසමුද්ද දුප්පූරණට්ඨෝ (ගම්භීරෝ)”
තෘෂ්ණාවගේ අරමුණ හොඳ සැටියට ගන්නා බවය, ගිලගන්නාක් මෙන් තදින් අයිති කර ගැනීම් වශයෙන් අරමුණ ගන්නා බවය, අරමුණුවලට යන බවය, අරමුණුවල වෙළෙන බැවින් වැලක් වැනි බවය, දිගට යන බැවින් ගංගාවක් වැනි බවය, තෘෂ්ණා සාගරයක් බවය, පිරවීම දුෂ්කර බවය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“උපාදානස්ස ආදානගහනාභිනිවේසපරාමාස දුරතික්කමනට්ඨෝ (ගම්භීරෝ)”
උපාදානයාගේ රූපාදිය තදින් ගන්නා බවය, කැමතිවීම් මාත්‍රයෙන් ගන්නා බවය, නිත්‍ය සුඛ ශුභාදි වශයෙන් සලකා ඒ ඒ ආරම්මණයට බැස ගන්නා බවය, නිත්‍යාදි වශයෙන් වරදවා ගන්නා බවය, ඉක්මවීමට දුෂ්කර බවය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“භවස්ස ආයූහනාභිසංඛරණ යෝනිගතිඨිති නිවාසේසු ඛිපනට්ඨෝ (ගම්භීරෝ)”
භවයාගේ දානාදි ක්‍රියා සිදුකරන බවය, ස්කන්ධයන් ඇති කරන බවය, යෝනි ගති ඨිති නිවාසයන්හි බහාලන බවය යන ස්වභාවයේ ගැඹුරු ය.
“ජාතියා ජාති සඤ්ජාති ඔක්කන්ති නිබ්බත්ති පාතුභාවට්ඨෝ, (ගම්භීරෝ)”
ජාතියගේ අපරිපූර්ණත්වයෙන් උපදනා බවය, පරිපූර්ණත්වයෙන් උපදනා බවය, ප්‍රවේශ වන්නාක් මෙන් උපදනා බවය, පහළවීම් වශයෙන් උපදනා බවය, ස්කන්ධයන් පහළ වන බවය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“ජරාමරණස්ස ඛයවයභේදවිපරිණාමට්ඨෝ (ගම්භීරෝ)”
ජරාමරණයා ගේ අඩුවන බවය, නැති වන බවය, බිඳෙන බවය, අන් ආකාරයකට පැමිණෙන බවය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
ඒකත්ත නයය, නානත්ත නයය, අව්‍යාපාර නයය, එවංධම්මතා නයයයි අර්ථ නයය සතරෙක් වේ. භව චක්‍රය පිළිබඳ මනා දැනුම ඇති වනුයේ ඒ නය සතර ද මැනවින් තේරුම් ගත් කල්හි ය.
ඒකත්ත නය.
සහලෙන් බත ඇති වේ. සහල කෑමට නුසුදුසු තද දෙයකි. බත කෑමට සුදුසු මෘදු දෙයකි. සහල හා බත ලක්‍ෂණ වශයෙන් එකිනෙකට ඉතා වෙනස් ය. එකිනෙකට වෙනස් වූ සහල හා බත දෙකක් ද? එකක් ද? යනු විසඳා ගත යුත්තකි. බතෙහි සහල් ලක්‍ෂණයත් සහල්වල බතේ ලක්‍ෂණයත් නැති බැවින් ඒ දෙක එකකැ යි නො කිය හැකි ය. ඉදින් ඒ දෙක දෙකක් ම ය යි ගත හොත් සහල් හිමියාට බත අහිමි වීමෙන් අවුලක් වේ. එබඳු අවුලක් නො වන්නට නම් සහල හා බත ඒකත්වයෙන් ද පිළිගත යුතු ය. ඒ ඒකත්වය නම් පරම්පරා සම්බන්ධය යි. එමෙන් අවිද්‍යාවෙන් හටගන්නා සංස්කාරය අවිද්‍යාවට ඉතා වෙනස් වූ අන්‍ය ධර්මයකි. සංස්කාරයෙන් හටගන්නා විඥානය අවිද්‍යා සංස්කාර දෙකටම ලක්ෂණ වශයෙන් වෙනස් වූ ධර්මයෙකි. එහෙත් එක ම පරම්පරාවකට අයත් වීම් වශයෙන් ඒවායේ ඒකත්වයක් ද ඇත්තේ ය.
පටිච්චසමුප්පාදයේ ඒකත්තනය ය යි කියනුයේ ඒ ඒකත්වයට ය. මේ එකත්තනය මැනවින් දත් කල්හි “මැරෙන්නේ අනෙකෙක, උපදින්නේ අනෙකෙක, පින් පව් කරන්නේ අනෙකෙක, සුවදුක් විඳින්නේ අනෙකෙකැ” යි ගන්නා වූ උච්ඡේද දෘෂ්ටිය දුරු වේ. ඒකත්තනය වරදවා තේරුම් ගත් කල්හි ලක්‍ෂණ වශයෙන් එකිනෙකට වෙනස් වූ අවිද්‍යාදි ධර්ම සමූහය එක් කොට එක් දෙයක් සැටියට හෙවත් එක් සත්ත්වයකු සැටියට ගෙන “සෝ කරෝති සෝ පටිසංවේදේති” යනාදීන් දැක්වෙන පින් පව් කරන තැනැත්තා ම සුව දුක් විඳින්නේ ය, මේ සත්ත්වයා ම පරලොව යන්නේ ය යි ශාශ්වත දෘෂ්ටිය ගනී.
නානත්ත නය
අවිද්‍යාදි ධර්ම සමූහය ඒකත්වයෙන් දත යුතුවාක් මෙන් ම නානත්වයෙන් ද දත යුතු ය. එක් දෙයක් එක් සත්ත්වයකු එක් පුද්ගලයකු වශයෙන් පෙනෙන සේ සන්තති ප්‍රඥප්තියෙන් වැසී තිබෙන මේ ධර්ම සමූහය හේතු ඵල වශයෙන් හා ඒ ඒ ධර්මයට අයත් ලක්‍ෂණයන්ගේ වශයෙන් ද කාල වශයෙන් ද වෙන් වෙන් වූ ධර්මයන් ගේ සමූහයකි. අවිද්‍යාදීන් ගේ ඒ නානත්වය හෙවත් ධර්ම බොහෝ ගණනක් බව පටිච්චසමුප්පාදයාගේ නානත්ත නයයි.
මෙය මනාකොට දක්නා තැනැත්තා හට පරණ පරණ වූ සංස්කාරයන් ගේ බිඳී යාම හා අලුත් අලුත් සංස්කාරයන් පහළ වන බවත් අවබෝධ වීමෙන් භවයෙන් භවයට යෙමින් සුව දුක් විඳින සත්ත්වයකු ඇතය යි ගන්නා ශාශ්වත දෘෂ්ටිය දුරු වේ. වරදවා ගත් තැනැත්තා එක සන්තානයකට අයත් ධර්මයන් වෙන් වෙන් වූ සන්තානයන්ට අයත් ධර්ම සේ පමණ ඉක්මවා නානත්වයෙන් ගෙන අනෙකෙක් මැරෙන්නේ ය, අනෙකෙක් උපදින්නේ ය. අනෙකෙක් කර්ම කරන්නේ ය, අනෙකෙක් සුව දුක් විඳින්නේ යයි උච්ඡේද දෘෂ්ටිය ගනී.
අව්‍යාපාර නය
සංස්කාරාදි ඵල ධර්මයන් ඇති වීමට අවිද්‍යාදි හේතු ධර්මයන් ප්‍රත්‍යය වෙතත්, සංස්කාරාදිය ඉපදීමේ උත්සාහයක් හෝ ඕනෑකමක් අවිද්‍යාදියට නැත. අවිද්‍යාදි හේතූන් ගේ ඵල ඇති කිරීමේ උත්සාහයක් නැති බව අව්‍යාපාර නය යි. මෙය මනා කොට දුටු කල්හි කර්ම කරන්නා වූ කෙනකු නැති බව හා ජාතියෙන් ජාතියට භවයෙන් භවයට යන්නකු නැති බව ද වේදනාව හැර සුව දුක් විඳින්නකු නැති බව ද අවබෝධ වී ආත්මය පින් පව් කරන්නේ ය, ආත්මය භවයෙන් භවයට යන්නේ ය, ආත්මය සුව දුක් විඳින්නේ ය යන ආත්ම දෘෂ්ටිය දුරුවේ.
අව්‍යාපාර නය වරදවා ගත් තැනැත්තේ කිසිවෙකු ගේ විධානයක් නැති ව, ගින්න උඩ බලා යන්නාක් මෙන් ද, සුළඟ සරසට යන්නාක් මෙන් ද, ගං - හෝ මුහුදු බලා ගලන්නාක් මෙන් ද සියල්ල ඉබේ ම සිදු වන්නේ ය. කෙනකු ගේ ක්‍රියාවකින් සිදුවන කිසිවක් නැත ය යි පවින් වැළකීමෙන් හා පින් කිරීමෙන් ද වන ඵලයක් නැතය යන අක්‍රිය දෘෂ්ටිය ගන්නේ ය.
එවං ධම්මතා නය
සංස්කාරාදි ඵල ඉපදවීමේ උත්සාහයක් අවිද්‍යාදි හේතු ධර්මයන් කෙරෙහි නැත ද, අඹගසින් කොස් ගෙඩි පොල් ගෙඩි නූපදවා අඹ ගෙඩි ම උපදවන්නාක් මෙන් ද, පොල්ගස අඹගෙඩි කොස්ගෙඩි නූපදවා පොල් ගෙඩි ම උපදවන්නාක් මෙන් ද, සහල වැලි හෝ සූකිරි හෝ නූපදවා බත ම උපදවන්නාක් මෙන් ද, අවිද්‍යාදි ධර්මයෝ නියමයක් නැති යම්කිසි ඵලයක් ඇති නො කොට ඒ ඒ හේතු ධර්මයට අනුකූල වූ පරිදි සංස්කාරාදි ඵලයන් ම උපදවති. අවිද්‍යාදීන් ගේ ඒ හේතුවට අනුකූල ඵලය ම උපදවන බව පටිච්චසමුප්පාදයේ එවංධම්මතා නය යි.
මේ නයය මනා කොට දක්නා තැනැත්තේ සියල්ලෙන් ම සියල්ල ම නො හට ගන්නේ වී නමුත් තලවලින් තෙල් ද සහලෙන් බත් ද දෙනගෙන් කිරි ද උක්දඬුයෙන් පැණි ද හටගන්නාක් මෙන් ප්‍රත්‍යයට අනුරූප ඵලය හටගන්නා බව අවබෝධ කර ගැනීමෙන් කිසිවකින් කිසිවක් නො හටගන්නේය යන අහේතුක දෘෂ්ටිය දුරලන්නේ ය. “ක්‍රියාවෙන් සිදුවන ඵලයක් නැති බැවින් පවින් වැළකීමෙන් හෝ පින් කිරීමෙන් ද වැඩක් නැතය යි” ගන්නා වූ අක්‍රිය දෘෂ්ටිය ද දුර ලන්නේ ය.
එවං ධම්මතා නය නො දක්නා තැනැත්තේ එක් දෙයකින ්එයට වෙනස් වූ අන් දෙයක් ඇති වෙත හොත් වැල්ලෙන් තෙල් ද උක්දඬුයෙන් කිරි ද කොසඹ රුකින් පැණිද ඇති නො වන්නේ මන් දැ යි ප්‍රශ්න කරමින් කිසිවකින් කිසිවක් ඇති නො වන්නේ ය යන අහේතුක දෘෂ්ටිය ද ගනී. අන්කිසි හේතුවක් නැත ද තලවලින් තෙල් ද දෙනගෙන් කිරි ද ශුක්‍රශ්‍රෝණිතයෙන් ශරීරය ද ඇතිවන්නාක් මෙන් නියමය වූ පරිදි සියල්ල ඉබේ ම සිදුවේ ය යන නියතිවාදය ද ගන්නේ ය.
අනුලෝම ප්‍රතීත්‍යසමුත්පාද විස්තරය
මෙතෙකින් අවසන් කරන ලදි.
අවිජ්ජායත්වේව අසේසවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ
සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ,
විඤ්ඤාණ නිරෝධා නාමරූප නිරෝධෝ,
නාමරූප නිරෝධා සළායතන නිරෝධෝ,
සළායතන නිරෝධා ඵස්ස නිරෝධෝ,
ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ,
වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ,
තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ,
උපාදාන නිරෝධා භව නිරෝධෝ,
භව නිරෝධා ජාති නිරෝධෝ,
ජාති නිරෝධා - ජරාමරණං සෝකපරිදේවදුක්ඛ දෝමනස්සුපායාසා නිරුජ්ඣන්ති.
ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති.
මේ ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාද දේශනා පාළිය ය.
තේරුම:-
ලෝකෝත්තර මාර්ගඥාන සංඛ්‍යාත විද්‍යාව කරණ කොට ගෙන අවිද්‍යාවගේ නිරවශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ.
සංස්කාර නිරෝධයෙන් ප්‍රතිසන්ධි විඥානයේ නිරෝධය වේ.
ප්‍රතිසන්ධි විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ.
නාමරූප නිරෝධයෙන් චක්ඛායතනාදි ආයතන සයේ නිරෝධය වේ.
ආයතන සයේ නිරෝධයෙන් චක්ඛුසම්ඵස්සාදි ඵස්ස සයේ නිරෝධය වේ.
ඵස්ස නිරෝධයෙන් චක්ඛුසම්ඵස්සජ වේදනාදි වේදනා සයේ නිරෝධය වේ.
වේදනා සයේ නිරෝධයෙන් රූප තණ්හා සයේ නිරෝධය වේ.
තණ්හා සයේ නිරෝධයෙන් උපාදානයන් ගේ නිරෝධය වේ.
උපාදාන නිරෝධයෙන් කර්‍මභවය උපපත්තිභවය යන භවයන්ගේ නිරෝධය වේ.
භවයන්ගේ නිරෝධයෙන් ජාති නිරෝධය හෙවත් නැවත ඉපදීමේ නිරෝධය වේ.
ජාති නිරෝධයෙන් ජරාමරණශෝකපරිදේව දුඃඛදෞර්මනස්‍යඋපායාසයෝ නො වෙත්.
මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වේ.
“අවිජ්ජාපච්චයා සංඛාරා” යනාදි දේශනය අනුලෝම පටිච්චසමුප්පාද නම් වේ. “අවිජ්ජායත්වේව අසේසවිරාග නිරෝධා සංඛාරනිරෝධෝ” යනාදි දේශනය පටිලෝම පටිච්චසමුප්පාද නම් වේ. අනුලෝම පටිච්චසමුප්පාද දේශනයෙන් දැක්වෙන්නේ සංසාරචක්‍රය ය. ඒ සංසාර චක්‍රයට ද පටිච්චසමුප්පාද යන නම කියනු ලැබේ. ප්‍රතිලෝම ප්‍රතීත්‍ය සමුත්පාද දේශනයෙන් දැක්වෙන්නේ සංසාරචක්‍රයාගේ නිරෝධය වූ නිර්වාණය ය.
නිරෝධය යන වචනය ඇසෙන කල්හි සාමාන්‍ය ජනයාගේ සිතට දැනෙන නිරෝධය අනෙකකි, ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාද දේශනයෙන් දැක්වෙන නිරෝධය ඉතා ගැඹුරු කරුණෙකි. එය තේරුම් ගත හැකිවීම පිණිස නිරෝධය යන වචනයෙන් කියැවෙන අර්ථ දෙක හෙවත් නිරෝධ දෙක පළමුවෙන් දත යුතුය.
යමකට ගැසූ කල්හි ඇතිවන හඬ සැණෙකින් ම නැති වන්නාක් මෙන්, අහසෙහි හටගන්නා විදුලිය සැණෙකින් නැතිවන්නාක් මෙන්, උපදින උපදින සංස්කාර සියල්ල කිසිවක් ඉතිරි නො වන පරිදි ඒ වේලාවේදී ම අභාවප්‍රාප්ත වේ. එය සකල සංස්කාරයන්ගේ ම ස්වභාවය ය. උපදින සංස්කාරයන් ගේ ඒ අභාවප්‍රාප්තියට හෙවත් නැති වී යාමට ද නිරෝධ ය යි කියනු ලැබේ. නිරෝධ යන වචනය ඇසෙන කල්හි සාමාන්‍ය ජනයාගේ සිතට එන්නේ ඒ ඇති වූ සංස්කාරයන් ගේ නැති වී යාම ය. ඇති වූ සංස්කාරයන්ගේ නැති වී යාම වූ නිරෝධය ඒ ඒ ධර්මය පිළිබඳ අභාව මාත්‍රය ය. එය සිස් බවකි. එහි කිසි වටිනාකමක් අති ගුණ විශේෂයක් නැත්තේ ය.
උපදින සෑම අවිද්‍යාවක් ම එකෙණෙහි ම නිරුද්ධ වන්නේ ය, සෑම සංස්කාරයක් ම - සෑම විඤ්ඤාණයක්ම - සෑම නාමයක් ම - සෑම රූපයක් ම ඒ මොහොතේදීම නිරුද්ධ වන්නේ ය. අවිද්‍යාදීන්ගේ ඒ නිරෝධය ස්වාභාවික නිරෝධය ය. එයට ක්ෂණික නිරෝධය යි ද කියනු ලැබේ. සංසාර චක්‍රයට අයත් ධර්මයන් ක්ෂණික නිරෝධයෙන් කොතෙක් නිරුද්ධ වුවත් අලුත් අලුත් ධර්ම ඉදිරියට ඇතිවීම් වශයෙන් සංසාරචක්‍රයාගේ කරකැවීම සිදු වෙනවා මිස නැවතීමක් නො වේ. සංසාරචක්‍රයා ගේ නැවැත්ම වන්නේ ඉදිරියට ඇතිවය හැකි අවිද්‍යා සංස්කාරාදි හේතුඵල ධර්මයන් ගේ ඇති නොවීමෙනි.
ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාද දේශනයෙහි නිරෝධ යනුවෙන් දැක්වෙන්නේ සත්ත්වයාගේ සන්තානයෙහි ඇති වූ අවිද්‍යාදීන්ගේ ක්ෂණික නිරෝධය නොව, එතෙක් ඇති නො වූ මතු ඇතිවිය හැකිව තිබෙන්නා වූ අවිද්‍යා සංස්කාරාදීන්ගේ මතු කවර කලෙකවත් නූපදනා ස්වභාවය ය. එයට අනුත්පාද නිරෝධය යි කියනු ලැබේ. ක්ෂණික නිරෝධ - අනුත්පාද නිරෝධ දෙක්හි වෙනස සිත්හි තබා ගෙන ම මේ ධර්මය ගැන කල්පනා කරත්වා.
සංසාර චක්‍රය සිඳ දුක්ඛස්කන්ධයෙන් මිදී නිවන් සුවය ලබනු කැමැතියන්හට ඒ සඳහා කරන්නට ඇත්තේ එකම දෙයකි. එනම් අවිද්‍යාව නැති කිරීමය. යම් ප්‍රතිපත්තියකින් අවිද්‍යාව නැති වේ නම් ඒ ප්‍රතිපත්තිය පිරීමය. අවිද්‍යා නිරෝධය වුවහොත් සංස්කාරාදි සකල ප්‍රතීත්‍යසමුත්පාදාංගයන්ගේ ම නිරෝධය සිද්ධය. අවිද්‍යා සංස්කාරාදීන් පිළිබඳ වෙන් වෙන් වූ නිරෝධ, ව්‍යවහාරයෙහි ඇති මුත් ධර්ම වශයෙන් නොලැබේ.
සංසාර චක්‍රයෙහි අවිද්‍යාව නිසා එයට පසු ව සංස්කාරය ඇති වේ. සංස්කාරය නිසා එයට පසුව විඤ්ඤාණය ඇති වේ. විඤ්ඤාණය නිසා එයට පසුව නාමරූප ඇති වේ. පළමුවෙන් අවිද්‍යාව නිරුද්ධවීම නිසා ඊට පසු සංස්කාර නිරුද්ධ වීමය, සංස්කාර නිරුද්ධ වීම ඊට පසු විඤ්ඤාණ නිරුද්ධ වීමය කියා, නිරුද්ධවීමේ පටිපාටියක් නැත්තේ ය. නිරුද්ධ වීමේ පටිපාටිය ලැබෙන්නේ කීමට පමණය.
උපන් අවිද්‍යාදි ධර්මයන්හි එකිනෙකට වෙන් බවක් ඇත්තේ ය . වෙන් ව ලැබෙන්නා වූ ඒ ධර්මයන්ගේ උත්පාද - නිරෝධ ද වෙන් වෙන් වශයෙන් ලැබෙන්නේ ය. ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාද දේශනයේ දැක්වෙන අවිද්‍යාදීන්ගේ අනුත්පාද නිරෝධය එතෙක් නූපන් ධර්මයන් පිළිබඳ වූ නිරෝධයෙකි. නූපන්නා වූ අවිද්‍යාදි ධර්ම එකිනෙක වෙන් ව ඇත්තාහු නො වෙති. ඒ අවිද්‍යාදිය පවා වෙන් වෙන් ව නො ලැබෙන කල්හි ඒවා පිළිබඳ එකිනෙකට වෙන් වූ නිරෝධ බොහෝ ගණනක් කෙසේ ලැබිය හැකි ද? නොලැබේම ය. අවිද්‍යා නිරෝධය වෙතොත් ඒ සමග එකට බැඳී සංස්කාරාදීන් ගේ නිරෝධය ද වේ. අවිද්‍යා නිරෝධය අනිකක් ය, සංස්කාර නිරෝධය අනිකක් ය, විඤ්ඤාණ නිරෝධය අනිකක් ය කියා වෙන් බවක් නො ලැබේ.
අඹ ඇටය නිසා අඹ ගස ඇති වේ. අඹ ගස නිසා අඹ මල ඇති වේ. අඹ මල නිසා අඹ ගෙඩිය ඇති වේ. අඹ ගෙඩිය නිසා නැවත අඹ ඇටය ඇති වේ. අඹ ඇටය නිසා නැවත අඹ ගසක් ඇති වේ. මෙසේ අඹ ගස් පරම්පරාව නො සිඳී පවතී. ගින්නෙන් දවා අඹ ඇටය අළුකර දැමුව හොත් අඹ ඇටය නැති වනු සමග ම ඒ අඹ ඇටයේ පරම්පරාවෙහි මතු ඇතිවිය හැකි අඹගස් අඹ මල් අඹ ගෙඩි අඹ ඇට හා පසුව ඇතිවිය හැකි අඹ ගස් පරම්පරාව ද නැති වන්නේ ය.
පළමු අඹ ඇටයේ පරම්පරාවෙහි අඹ ගස් - අඹ මල් - අඹ ගෙඩි - අඹ ඇට ආදියේ ඇතිවීම වෙන වෙනම සිදුවන්නාක් මෙන් අඹ ඇටය නැතිවූ කල්හි අඹගස් - අඹමල් ආදියේ නැතිවීම වෙන වෙන ම සිදුවන්නේ නො වේ. අඹ ඇටයේ නැතිවීමට ඇතුළත්ව, අඹ ඇටයේ නැතිවීම හා එකම නැතිවීමක් වශයෙන් ම අඹ පරම්පරාවේ නැතිවීම සිදු වේ. එමෙන්ම මේ සංස්කාර චක්‍රයේ සංසාර විඥානාදි සකල ප්‍රතීත්‍යසමුත්පාදාංගයන් ගේ ම නිරෝධය, අවිද්‍යා නිරෝධයටම ඇතුළත් ව එකම නිරෝධයක් වශයෙන් ම වන බව දත යුතු ය.
මේ අනුත්පාද නිරෝධය වනාහි ඒ ඒ සංස්කාරයන්ගේ අභාවප්‍රාප්ති මාත්‍රය වූ සිස් බව නොව, ශාන්ත සුඛස්වභාවයෙන් විද්‍යමාන එක්තරා පරමාර්ථ ධර්මයකි. ජරා - මරණ - ශෝක - පරිදේවාදි දුඃඛස්කන්ධයෙන් මිදීමට ඇත්තා වූ එකම පිහිට මේ නිරෝධ ස්වභාවය ය. බුද්ධාදි මහෝත්තමයන් වර්ණනා කරන ලෝකෝත්තර නිර්වාණ ධාතුව ද මේ අනුත්පාද නිරෝධයම ය. එය සාමාන්‍ය ජනයාට ලෙහෙසියෙන් දත නො හෙන පරම සූක්ෂම පරම ගම්භීර ධර්මයකි. සාමාන්‍ය ජනයාට දැනෙන සාමාන්‍ය ජනයාගේ සිත්වලට ලෙහෙසියෙන් හසුවන, ලෝකයට අයත් සකල සංස්කාරයෝ ම ඒ ඒ දෙය ඇතිවීමට නිසි හේතූන් නිසා උපදින්නෝ ය. උපදින සියල්ලට ම දිරීම හා බිඳීමක් ඇත්තේ ය. මේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතුව යම් කිසි හේතුවකින් ප්‍රත්‍යයකින් ඇතිවන්නක් නො වේ. එය හටගැනීමක් නැතිව ම ඇති ධර්මයකි. හට ගැනීමක් නැතිව ඇත්තා වූ ඒ නිරෝධ ස්වභාවයෙහි දිරීමක් බිඳීමක් ද නැත්තේ ය. එය වෙනසක් නො වී සෑම කල්හි එක ලෙසින් ම පවත්නා ධර්මයකි. මේ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් ඇතත් සිතට හසු කර ගත හැකි රූ සටහනක් එහි නැත්තේ ය.
මේසය - පුටුව - ගෙය යනාදි වචන ඇසෙන කල්හි අසන්නහුගේ සිතට මේස - පුටු ආදියේ රූ සටහන් හසුවන්නේ ය. එයින් ඒ වචනවලින් කියැවෙන අර්ථය අසන්නාට හොඳින් දැනෙන්නේ ය. නිරෝධය - නිවන යනාදි වචන ඇසෙන කල්හි අසන්නාගේ සිතට එන සටහනක් ඒ නිවනෙහි නැති බැවින්, ඒ වචන ඇසෙන කල්හි සාමාන්‍ය ජනයාගේ සිත්වලට හසුවන තරමේ ඖදාරික දෙයක් නිවනෙහි නැති බැවින්, ඔවුනට දැනෙන්නේ ඒ නිවන කිසි වටිනා කමක් නැති සිස් බවක් සේ ය. බිය විය යුත්තක් සේ ය. ඒ නිරෝධ ස්වභාවය වටිනාකම පමණ කළ නො හෙන මහා සුඛයක් බව තේරුම් ගත හැකි වීමට සුඛය පිළිබඳ දැනීමක් ඇතිකර ගත යුතු ය.
වේදයිතසුඛය - විමුක්තිසුඛය කියා සැප දෙවර්ගයක් ඇත්තේ ය. ඇසට හොඳ දේවල් දැකීමෙන් ද, කනට මිහිරි හඬ ඇසීමෙන් ද, නාසයට මිහිරි ගන්ධයන් ආඝ්‍රාණය කිරීමෙන් ද, දිවට හොඳ බොජුන් වැළඳීමෙන් ද, කයට හොඳ පහස් ලැබීමෙන් ද සිතට හොඳ මිලමුදල් - තනතුරු - ගරුනම්බු ආදිය ලැබීමෙන් ද ඇතිවන සොම්නස: ප්‍රීති සහිත ආශ්වාදය වේදයිතසුඛ නම් වේ. පැමිණ ඇත්තා වූ ද, මතු ඇති විය හැකි වූ ද, දුක්වලින් කරදරවලින් විපත්වලින් මිදීම විමුක්තිසුඛ නම් වේ. නිදහස් සුවය යනු එයට නමෙකි.
වේදයිතසුඛ - විමුක්තිසුඛය යන මේ දෙකින් වේදයිත සුඛය හෙවත් විඳින සැපය සුළු කලක් මිස බොහෝ කලක් පවත්නක් නො වේ. හොඳ දේවල් බැලීමෙන් වන සුවය පවත්නේ බලා සිටින තෙක් පමණෙකි. ඉන් පසු ඒ සුවය නැත. එයින් මඳකුදු ඉතිරි වන්නේ නැත. මිහිරි හඬ ඇසීමෙන් වන සුවය පවත්නේත් එය අසමින් සිටිනා තෙක් පමණෙකි. සුවඳ ආඝ්‍රාණය කිරීමේ සුවය පවත්නේ ආඝ්‍රාණය කරමින් ඉන්නා තෙක් ය. මිහිරි බොජුන් වැළඳීමේ සුවය පවත්නේ වළඳමින් ඉන්නා තෙක් ය. කයට හොඳ දේ සැපයීමෙන් වන සුවය පවත්නේ පහස ලබමින් ඉන්නා තෙක් ය. සිතට හොඳ දේවලින් ලැබෙන සුවය ප පවත්නේත් ඒවා සිහිකරමින් ඉන්නා තෙක් ය. ඒ සුවවලින් පසුවට ඉතිරිවන කිසිවක් නැත්තේ ය.
නින්දෙහි දී පෙනෙන සිහින බඳු වූ මඳ වේලාවක් පවත්නා වූ ඒ සැපවල එතරම් වටිනා කමක් උසස් කමක් නැත. හොඳය යි සලකන දේ බැලීම් ආදියෙන් ලබන සුවය නො ලැබූයේ ද ඉන් අමාරුවක් නැත. පැමිණ ඇති දුකක් සන්සිඳවා නො ගෙන දිගට ම එය විඳීම නම් ඉතා අමාරු කරුණෙකි. එබැවින් පැමිණ ඇති දුක නිවා ගැනීමට - නැතිකර ගැනීමට පැමිණ ඇති දුකින් නිදහස් වීමට හැකිතාක් උත්සාහ කළ යුතු ය.
දුකින් මිදීමේ සැපය කොතෙක් උත්සාහ කොට වුව ද කොතෙක් වියදම් කොට වුව ද ලබාගත යුතු ම ය. ඒ දුකින් මිදීමේ සුවය වේදයිත සුඛය සේ ක්ෂණික සුඛයක් නොවේ. නිවී ගියා වූ සංසිඳී ගියා වූ දුක නැවත එනතුරු ඒ සුවය පවත්නේ ය. සන්සිඳුනා වූ දුක නැවත කිසි කලෙක නො එන සේම සන්සිඳී ගියේ නම්, ඒ විමුක්ති සුඛය සැම කල්හි ම පවත්නේ ය. දීර්‍ඝ කාලයක් පවත්නා බැවින් විමුක්ති සුඛය බොහෝ අගනේ ය. එහි ප්‍රමාණයත් අගයත් ගණන් ගත යුත්තේ සන්සිඳෙන්නා වූ දුක්වල ප්‍රමාණය අනුව ය. කුඩා දුකක් නිවීමේ සුවය කුඩාය යි කිය යුතු ය. මහත් දුකක් සන්සිඳීමේ සුවය මහත්ය යි කිය යුතු ය. කුඩා දුකක් සන්සිඳීමේ සුවය මඳක් අගනා බවත්, දීර්ඝ කාලයක් පැවතිය හැකි මහත් දුකක නිවීම් සැපය බොහෝ අගනා බ වත් කිය යුතු ය.
හිසරදය එතරම් මහත් දුකක් නොවේ. එහෙත් දීර්ඝ කාලයක් පැවතිය හැකි තද හිසරදයක් ඇති තැනැත්තා සුළු වියදමකින් එය සුවකර ගත නොහැකි වුව හොත් ඒ සඳහා දහසක් වුව ද වියදම් කරන්නේ ය. රෝගියා ධනවතෙක් නම් එය සුවවනතුරු දසදහසක් වුවත් ඊටත් වැඩි ගණනක් වුවත් වියදම් කරන්නේ ය. “හිසරදයේ සුවය එතරම් වටිනා එකක් නො වේය” කියා ධනය ඉතුරු කර ගෙන හිසරදය වූ දුක විඳිමින් නො වෙහෙසෙන්නේ ය. හිසරදයක සන්සිඳීම වූ විමුක්ති සුඛයක එපමණ වටිනාකමක් නැති නම් රෝගීහු එය ලබනු පිණිස එපමණ ධනයක් වියදම් නො කරන්නාහ. වියදම් කරන්නේ ඒ සුවය වටිනා දෙයක් නිසා ය.
මරණයට හසුවිය හැකි - මැරෙන්නට සිදුවිය හැකි කරුණක් පැමිණි කල්හි, ලක්‍ෂයක් හෝ කෝටියක් වියදම් නො කළ හොත් ඒ මරණයෙන් නො ගැලවිය හැකි නම්, ඒ පුද්ගලයාත් ධනවතෙක් නම් මරණයෙන් නිදහස් වීම සඳහා ලක්‍ෂයක් වුවද වියදම් කරන්නේ ය. කෝටියක් වුව ද වියදම් කරන්නේ ය. එපමණ ධනයක් ඒ සඳහා වැය කරන්නේ මරණයෙන් මිදීම වූ විමුක්ති සුඛය ලක්‍ෂයක් කෝටියක් පමණ වටිනා නිසා ය.
ඉදින් රජකෙනෙකුට මැරෙන්නට සිදුවී ඇති විටෙක රාජ්‍යය පරිත්‍යාග කළහොත් එයින් මිදිය හැකි වේ නම්, ඒ රජ රාජ්‍යය පරිත්‍යාග කොට මරණයෙන් නිදහස ලබන්නේ ය. එසේ කරන්නේ ඒ මරණ විමුක්තිය රාජ්‍යය තරම් වටිනා බැවිනි. සත්ත්වයා නිවනට නො පැමිණ සසර සැරිසරතහොත් ඔහුට අනාගතයෙහි මරණයට පැමිණෙන්නට සිදුවන වාර ලක්‍ෂයක් ද නොවේ. කෝටියක් ප්‍රකෝටියක් ද නො වේ. ප්‍රමාණ කළ නොහෙන වාර සංඛ්‍යාවක් ඔහුට මැරෙන්නට සිදු වේ. එක භවයක දී ලබන්නට වන එක මරණයකින් තාවකාලික වශයෙන් මිදීමේ සුවය ම ලක්‍ෂයක් වුව ද, කෝටියක් පමණ වුව ද රාජ්‍යයක් පමණ වුව ද වටිනා කල්හි අනාගතයෙහි පැමිණිය හැකි අප්‍රමාණ මරණයන් ගෙන් නිදහස වූ ලෝකෝත්තර නිර්වාණ සංඛ්‍යාත මහා විමුක්ති සුඛයේ අගය කෙසේ ප්‍රමාණ කළ හැකි වේ ද? නො හැකි වේම ය.
නිවනට නො පැමිණ සසර සැරිසරත හොත් එක් පුද්ගලයකුට අනාගතයෙහි ලබන්නට සිදුවන්නේ මරණ දුක පමණක් නො වේ. ඔහුට අනාගතයෙහිදී ප්‍රමාණ නො කළ හැකි තරමටම බොහෝ වූ ජාතිවලදී පොලුවලින්, ගල්වලින්, පිහියාවලින්, කඩුවලින්, කැති - මන්නා - වෑ - පොරෝ - උදලුවලින් පහර කෑමේ දුක් ද ලැබෙන්නේ ය. සොරසතුරන් විසින් ධනය පැහැර ගැනීමේ දුක් ද, දූ - දරුවන් පැහැර ගැනීමේ දුක් ද, බලයෙන් අල්ලාගෙන දිවි ඇතිතාක් වැඩ ගැනීමේ දුක් ද සිරගෙවල ලෑමේ දුක් ද, දෙතිස්වධ ලැබීමේ දුක් ද, සර්පයන් විසින් දෂ්ට කරනු ලැබීමේ දුක් ද, කඩුවේගන් - පරංගි - ලාදුරු - වණ - පිළිකා - අපස්මාර - කාශ - ශ්වාස - වමන - අතීසාරාදි අනේක රෝගයන් ඇතිවීමේ දුක් ද, ජරා දුක් ද ඇති වන්නේ ය.
ගව ව, අශ්ව ව, ඇත්ව උපදනා අවස්ථාවලදී, තළ තළා කෙවිටි ආදියෙන් ඇණ ඇණ වැඩගැනීමේ දුක් ද, දුබල තිරිසන්ව උපදනා කාලවලදී බලවත් සතුන් විසින් අල්ලාගෙන හඬව හඬවා කැබලි කැබලි කඩා කනු ලැබීමේ දුක් ද, පණ තිබියදීම ගිල දමනු ලැබීමේ දුක් ද, මිනිසුන් විසින් ගින්නේ දවනු ලැබීමේ දුක් ද, ආහාරපාන නො ලබා වියළී මියයන්ට වීමේ දුක් ද, රෝගාතුරව දුබලව ඇදවැටුණු අවස්ථාවලදී කපුටන් විසින් ඇස් ආදියට කොටනු ලැබීමේ දුක් ද, වණ සෑදී පණුවන් කෑමේ දුක් ද, ප්‍රේතව ඉපිද සා පිපාසයෙන් පෙළීමේ දුක් ද, නරකවල ඉපිද ගින්නෙන් දැවීමේ දුක් ද, ලොහොදිය බොන්නට ලොහොගුලි ගිලින්නට වීමේ දුක් ද, තවත් මෙහි නො කී බොහෝ දුක් ද විඳින්නට සිදු වන්නේ ය. සංසාරචක්‍රයට අයත් අවිද්‍යාදීන් ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත ලෝකෝත්තර නිර්වාණය වනාහි ඒ සකල දුඃඛයන් පිළිබඳ වූ විමුක්ති සුඛය ය. ඒ සියලු ම දුක්වල නිවීම් සුවය ය. එහි අගය කෙසේ ප්‍රමාණ කළ හැකි ද? නො හැක්කේ ම ය.
ඇතැමෙක්, “අවිද්‍යා සංස්කාරාදීන්ගේ මේ අනුත්පාද නිරෝධය යම්කිසි පරමාර්ථ ධර්මයක් හෝ සුඛස්වභාවයක් නො වේ ය. ක්ෂණික නිරෝධය බඳු හිස් බවක් ය, හිස් බවෙහි කිසි උසස් බවක් වටිනා කමක් නැතය” යි සිතා අනුත්පාද නිරෝධය වරදවා තේරුම් ගෙන අමුතු නිවන් පවසති. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සිය ගණන් සූත්‍රවලින් පෙනෙන්නේ අවිද්‍යාදීන් ගේ නිරෝධය ම නිර්වාණය බව ය. නිදානවග්ග සංයුක්තයේ දුඃඛවර්ගයේ පළමුවන සූත්‍රය දේශනා කිරීමේදී තථාගතයන් වහන්සේ භික්‍ෂූන්ගෙන් එකින් එක පටිච්චසමුප්පාදාංගයන් ගේ නිරෝධය විචාරා, ඒ භික්‍ෂූන් විසින් සුදුසු පරිදි පිළිවදන් දුන් කල්හි -
“සාධු! සාධු!! භික්ඛවෙ! එවමෙතං භික්ඛවෙ! නෙතං අඤ්ඤථා, සද්ධහථ මේතං භික්ඛවෙ! අධිමුච්චථ, නික්ඛංඛා එත්ථ හොථ, නිබ්බිචිකිච්ඡා එසෙවන්තො දුක්ඛස්ස.”
යනුවෙන් අවිද්‍යාදීන් ගේ නිරෝධය නිර්වාණය වන බව සහතික කොට වදාළ සේක. “සාධු සාධු මහණෙනි, මහණෙනි! මතු ඉපදීමට හේතු වන සංස්කාරාදිය නැති කල්හි විඤ්ඤාණාදියත් නැතය යන ඒ කාරණය එසේම ය. එය අන් පරිද්දෙකින් නො වේය, මහණෙනි, ඒ කාරණය එසේම විශ්වාස කරව්. එසේ විනිශ්චයට බැස ගනිව්. ඒ කාරණය ගැන නිසැක වව්. දෙ සිතක් නැත්තෝ වව්. එයම, දුඃඛයාගේ කෙළවරය” යනු ඒ පාඨයේ තේරුම ය. ඉහත කී පාඨයෙහි “ඒසේවන්තෝ දුක්ඛස්ස” යන වැකිය අටුවාවෙහි වර්ණනා කර තිබෙන්නේ “ඒසෙවන්තො දුක්ඛස්සාති අයමෙව වට්ටදුක්ඛස්ස අන්තො අයං පරිච්ඡේදෝ, යදිදං නිබ්බානං” කියාය.
අවිද්‍යා සංස්කාරාදීන් ගේ අනුත්පාද නිරෝධයම නිවන නම් එය කොතරම් වටිනා සුවයකැයි කියතත් ඒ නිරෝධයෙහි පඤ්චස්කන්ධයක් නැති කල්හි ඒ මිහිර විඳින කෙනකු නැති බැවින් ඒ නිවන කාහට වත් ප්‍රයෝජනයක් නැති දෙයක් නො වේ ද? යන ප්‍රශ්නය මෙහිදී ඉදිරිපත් කළ හැකි ය. නිවනෙහි තතු සොයන තැනැත්තා විසින් මේ කියන අනුත්පාද නිරෝධය අතීතයෙහි ඉපිද නිරුද්ධ වුණු නාමරූපයන්ගේ හෝ වර්තමාන නාමරූපයන්ගේ හෝ නිරෝධයක් නොව මතු ඇතිවිය හැකි නාමරූපයන්ගේ නිරෝධය බව සිත්හි තබා ගෙන ම නිවන ගැන කල්පනා කළ යුතු ය. එසේ නො වුවහොත් කාරණය අවුල් වේ.
නිවන් සුවය විඳින පුද්ගලයන් ගැන කථා කරන්නවුන් ඒ කථාව කරන්නේ ද ආත්මයක් සත්ත්වයෙක් පුද්ගලයෙක් සත්‍යවශයෙන් ඇතැයි යන වැරදි හැඟීම උඩය. නිවනෙන් ප්‍රයෝජනයක් ඇති නැති බව පිළිබඳ වූ ප්‍රශ්නය විසඳාගත හැකි වන්නේ ආත්මයක් ඇත ද? නැත ද? යන මේ කරුණ විසඳා ගැනීමෙනි.
කෙනකු අන්ධකාරයේ සිට ගිනිපෙණෙල්ලක් වේගයෙන් කැරකැවුව හොත් දුරින් බලා ඉන්නා තැනැත්තාට එහි ගිනි වළල්ලක් පෙනේ. ඒ පෙනෙන ගිනිවළල්ල බලා ඉන්නහු ගේ සතේ මිස, එය පෙනෙන තැන නම් නැත. ගිනි වළල්ල පෙනෙන තැන ඇත්තේ, ගිනි පෙණෙල්ල පමණෙකි. වේගයෙන් ගිනි පෙණෙල්ල කැරකෙන කල්හි එහි නැති ගිනි වළල්ලක් පෙනෙන්නාක් මෙන් වේගයෙන් ඉපද ඉපද බිඳි බිඳී යන නාම රූප පරම්පරාව සත්ත්වයකු පුද්ගලයකු සේ පෙනේ. ඒ නාමරූපයන් අතර හෝ සැපදුක් විඳින මමය කියා සැලකිය යුතු දෙයක් ඇතුවාක් මෙන් පෙනේ. එහෙත් නාම රූප පරම්පරාව මිස එහි සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැත.
එකම ගිනිපෙණෙල්ල ගිනිවළල්ලක් සේ පෙනෙන්නේ, ගමන් වේගය නිසා එය හොඳට නො පෙනෙන නිසා ය. නාමරූප ධර්ම පරම්පරාව පුද්ගලයකු සේ පෙනෙන්නේත්, එහි පුද්ගලයකු ඇති සැටියට හෝ පෙනෙන්නේත් ඉපදීමේ බිඳීමේ වේගවත්කම නිසා නාම රූපයන් හරියට නො පෙනෙන - නො දැනෙන නිසා ය. පුද්ගලයකු ඇතය යන හැඟීම් මාත්‍රය මිස, සුවදුක් විඳින පුද්ගලයා නම් නාමරූප ධර්ම පරම්පරාව පවත්නා කාලයෙහිත් නැත. එබැවින් නිවනෙහි පුද්ගලයකු නැති කමින් අනුත්පාද නිරෝධ සංඛ්‍යාත සුඛස්වභාවය නිෂ්ඵලය යි නො කිය යුතු ය.
නාමරූප ධර්ම පරම්පරාව පවත්නා කල්හි ඒ පරම්පරාවෙහි වරින් වර ඇතිවන සුවදුක් දෙක, සත්‍ය වශයෙන් නැතත් ඇතය කියා සලකන ඒ පුද්ගලයා සතු වේ නම්, ඒ නාමරූප පරම්පරාවෙහි ඉදිරියට ඇති විය හැකි නාමරූපයන් ගේ නිරෝධය වූ විමුක්ති සුඛයත් ඒ පුද්ගලයාට ම බව කිය යුතුය. මේ කියන නාමරූප නිරෝධය ඉපද ඉපද බිඳි බිඳී පවත්නා නාමරූප පරම්පරාවන්ට අයත් වූ, එතෙක් නූපන් නාමරූපයන් පිළිබඳ වූවකි. ඉපද ඉපද බිඳි බිඳී යන නාමරූප පරම්පරාවෙහි පරිකල්පිත වශයෙන් ඇති සැටියට සලකන පුද්ගලයා, ඒ පරම්පරාවට අයත් වන එතෙක් නූපන් නාමරූප විෂයෙහි ද ඇති බව කිය යුතුය.
පරිකල්පිත පුද්ගලයා පරම්පරාවට අයත් ව එතෙක් නූපන්, මතු ඉපිදය හැකි නාමරූපයන් පිළිබඳවත් ගත යුතු ය. එසේ ගන්නවා නම්, ඒ පුද්ගලයා අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණයෙහිත් ඇතය යි කිය යුතු ය. නිවනෙහි ඒ විමුක්ති සුඛය විඳින පුද්ගලයකු නැතය කියන්නේ සත්‍ය වශයෙන් පුද්ගලයා නැති බැවිනි. ඒ පුද්ගලයා නිවනෙන් මොබ ලෝකයෙහිත් නැත. එබැවින් නිවන් කථාවට නැත්තා වූ මේ පුද්ගලයා සම්බන්ධ කර ගෙන කාරණය අවුල් නො කර ගත යුතුය.
“ඔය කියන විමුක්තිසුඛය කොපමණ උසස් කොපමණ වටිනා දෙයකැ යි කියතත් ඒ සුවය අපට නම් ඕනෑ නැත. අපට ඕනෑ කරන්නේ ප්‍රිය වස්තූන් ඇතිව, ප්‍රිය පුද්ගලයන් ඇතිව, ජරාවක් - ව්‍යාධියක් - මරණයක් - අප්‍රිය සම්ප්‍රයෝගයක් - ප්‍රිය විප්‍රයෝගයක් නැතිව, සුඛයෙන් සෞමනස්‍යයෙන් ප්‍රීතියෙන් සැම කල්හි ම විසිය හැකි තත්ත්වයකැ” යි ඇතැමුන්ට කිය හැකිය. මේ ලෝකයේ හෝ අන් ලොවක හෝ ස්ථිර තත්ත්වයක් ඇති එබඳු තැනක් නම් නැත. එබැවින් එබඳු තත්ත්වයක් නො ලැබිය හැකිය. ඇත්තේ සංසාරචක්‍රයාගේ පැවැත්මය - නැවැත්මය යන දෙක පමණෙකි. පැවැත්ම කැමති නම් පැවැත්ම ගත හැකි ය. නැවැත්ම කැමති නම් නැවැත්ම වූ නිවන් සුවය ගත හැකි ය.
ප්‍රිය වස්තූන් ඇත්තේ ද ප්‍රිය පුද්ගලයන් ඇත්තේ ද, සුඛ - සෞමනස්‍ය - ප්‍රීතීන් ඇත්තේ ද, සංසාර චක්‍රයෙහි ය. ජරාව ව්‍යාධිය මරණය අප්‍රිය සම්ප්‍රයෝගය ප්‍රිය විප්‍රයෝගය ශෝකය පරිදේවය දුඃඛය දෞර්‍මනස්‍යය උපායාසය ඇත්තේ ද, පණු - උකුණු - මකුණු - බලු - බළල් - ඌරු - කුකුළු ආදි තිරිසන් සතුන් වීම ඇත්තේ ද, ප්‍රේත වීම ඇත්තේ ද, ගින්නේ දැවි දැවී ලොහොගුලි ගිලින, ලෝදිය බොන නිරිසතුන් වීම ඇත්තේ ද සංසාර චක්‍රයෙහි ය.
සංසාර චක්‍රයේ කැරකෙන සත්ත්වයා ප්‍රීති - සුඛ -සෞමනස්‍යයන් ඇති, ප්‍රිය වස්තු ප්‍රිය පුද්ගලයන් ඇති මනුෂ්‍ය භවයක් හෝ දිව්‍ය භවයක් වරක් ලැබූ පසු, දහස් වරක් - දස දහස් වරක් දුඃඛ දෞර්‍මනස්‍යයෙන් නිතර පෙළෙන අපාය භවයන් ලබන්නේ ය. සංසාර චක්‍රයේ ඇති එක සොම්නසකට ලක්‍ෂය කෝටිය බැගින් දොම්නස් ඇත්තේ ය. නිවනෙහි වනාහි ප්‍රිය වස්තු - ප්‍රිය පුද්ගලයෝ ද නැත. ප්‍රීති - සුඛ - සෞමනස්‍යයෝ ද නැත. ජරා - ව්‍යාධි - මරණ - ශෝක - පරිදේව දුඃඛ - දෞර්‍මනස්‍යයෝ ද නැත. එහි පැමිණි පසු නැවත අපායට යාමකුත් නැත. එහි ඇත්තේ ශාන්ත ස්වභාවයක් පමණෙකි. කල්පනා කොට වඩා හොඳ දෙය තෝරා ගන්න.
ඇතැමකුට විමුක්තිය අප්‍රිය වී සංසාරය ප්‍රිය වන්නේත්, ඇතැමකුට සංසාරය අප්‍රිය වී විමුක්තිය ප්‍රිය වන්නේත් ඒ ඒ අයගේ අදහස් අනුවය. අවිද්‍යාව සත්ත්වයා ගේ සිත කිලිටි කරන - බොර කරන - අඳුරු කරන චෛතසික ධර්මයකි. එය එක්තරා මානසික රෝගයකි. ඒ රෝගයෙන් දුර්වලවූ අඳුරු වූ සිතට පරම්පරාවශයෙන් ඉපද ඉපද බිඳි බිඳී යන නාම රූපයන් ගේ සැබෑ තත්ත්වය නො පෙනේ. නොයෙක් විට නාම රූපයන් සත්ත්වයන් සැටියට මිස, නාමරූප සැටියට ද නො පෙනේ. එයින් සත්කාය දෘෂ්ටිය ඇති වේ. නැවත නැවත සත්කාය දෘෂ්ටිය ඇතිවන කල්හි එය වැඩී තහවුරු වී දෘෂ්ට්‍යාධ්‍යාශය ඇති වේ. එය ද එක්තරා මානසික රෝගයකි.
සත්කාය දෘෂ්ටිය සමග ම ආත්ම වශයෙන් සලකන පඤ්චස්කන්ධය ලොව ඇති ඉතාම හොඳ දෙය සැටියට ගන්නා වූ, තෘෂ්ණාව වූ තණ්හාව හා පඤ්චස්කන්ධයට අයත් ව ඇතිවන සුඛ සෝමනස්සයන් හා බාහිර රූපාදියත් හොඳ හැටියට ගන්නා වූ තණ්හාවත් ඇති වේ. ඒවා වැඩී තහවුරු වී තෘෂ්ණාධ්‍යාශය ඇති වේ. එය ද එක්තරා මානසික රෝගයෙකි. ධර්මය සේවනය නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ජනයා කෙරෙහි අවිද්‍යා - තෘෂ්ණා - දෘෂ්ටි සංඛාත රෝග තුන තදින් පවතින්නේ ය.
බලවත් කැසිල්ලෙන් යුක්ත වන කුෂ්ඨ රෝගයක් ඇතියහුට ගිනි රස්නය ඉතා ප්‍රිය වේ. සිසිල අප්‍රිය වේ. කුෂ්ඨරෝගියාට ගිනිරස්නය ප්‍රියවන්නේ එය හොඳ නිසා නොව රෝගය නිසාය. සිසිල අප්‍රිය වන්නේත් එය නරක නිසා නොව කුෂ්ඨරෝගය නිසාය. ගිනිරස්නය සේවනය කිරීමෙන් කුෂ්ඨරෝගියාට මතුවට වන්නේ නපුරක්මය. කුෂ්ඨරෝගියාට අනර්ථකර වූ ගිනි රස්නය හොඳ වන්නාක් මෙන්, සිසිල අප්‍රිය වන්නාක් මෙන් එකොළොස් වර්ගයක ගිනි දැල්වලින් වෙළී පවත්නා වූ නොයෙක්විට නරකාග්නියට ද හසුවන්නා වූ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධය කෙලෙස් රෝග ඇතියවුන්ට ප්‍රිය වේ. පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්ධයා ගේ නිරෝධය වූ නිවන අප්‍රිය වේ. එයට බිය වේ. එසේ වන්නේ නිරෝධය නරක නිසා නොව කෙලෙස් රෝගය නිසාය.
ධර්ම නමැති බෙහෙත සේවනය කොට කෙලෙස් රේගය සුවකර ගෙන සිත පිරිසිදු කරගෙන වෙසෙන්නා වූ සත්පුරුෂයන්ට වනාහි පඤ්චස්කන්ධය පමණ නපුරක් වශයෙන්, බියවිය යුත්තක් වශයෙන් පෙනෙන අනිකක් නැත. නිවන තරමට උසස්ව පෙනෙන අන් සැපයකුත් නැත.
නිවනේ තතු වැඩිදුරටත් තේරුම් ගත හැකිවීම පිණිස මෙතැන් පටන් තථාගතයන් වහන්සේ විසින් නන් අයුරින් නිර්වාණ තත්වය දක්වා දේශිත සූත්‍ර කීපයක් දක්වනු ලැබේ.
(සළායතන වග්ග සංයුත්තයේ දේවදහ වර්ගයේ රූපාරාම සූත්‍රයෙන්)
(1) රූපා සද්දා රසා ගන්ධා ඵස්සා ධම්මා ච කේවලා,
ඉට්ඨා කන්තා මනාපා ච යාචත්ථිති පවුච්චති.
-
(2) සදේවකස්ස ලෝකස්ස ඒතේ වෝ සුඛසම්මතා,
යත්ථ චේතේ නිරුජ්ඣන්ති තං තේසං දුක්ඛසම්මතං.
-
(3) සුඛන්ති දිට්ඨමරියේහි සක්කායස්ස නිරෝධනං,
පච්චනීකමිදං හෝති සබ්බලෝකේක පස්සතං.
-
(4) යං පරේ සුඛතෝ ආහු තදරියා ආහු දුක්ඛතෝ,
යං පරේ දුක්ඛතෝ ආහු තදරියා සුඛතෝ විදූ.
-
(5) පස්ස ධම්මං දුරාජානං සම්මුළ්හෙත්ථ අවිද්දසු,
නිවුතානං තමෝ හෝති අන්ධකාරෝ අපස්සතං.
-
(6) සතඤ්ච විවටං හෝති ආලෝකෝ පස්සතා මිව,
සන්තිකේ න විජානන්ති මගා ධම්මස්ස අකෝවිදා.
-
(7) භවරාගපරේතේහි භවරාගානුසාරිහී,
මාරධෙය්‍යානුපන්නේහි නායං ධම්මෝ සුසම්බුධෝ.
-
(8) කෝනු අඤ්ඤත්‍ර මරියේහි පදං සම්බුද්ධමරහති,
යං පදං සම්මදඤ්ඤාය පරිනිබ්බන්ති අනාසවා.
ගාථාවල තේරුම :-
1-2. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ රූපයෝ ද ශබ්දයෝ ද රසයෝ ද ගන්ධයෝ ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද යම් පමණ ඇතය යි කියනු ලැබේ ද, ඒ සකල රූප ශබ්දාදීහු දෙවියන් සහිත ලෝකයා විසින් සැපය යි සම්මත කරන ලද්දාහුය. යම් තැනෙක්හි ඒ රූප ශබ්දාදීහු නිරුද්ධ වෙත් ද එය ඔවුන් දුක ය යි සම්මත කරන ලද්දේ ය.
3. ආර්‍ය්‍යයන් විසින් පඤ්චස්කන්ධයාගේ නිරෝධය සැපය වශයෙන් දක්නා ලදී. ඒ දර්ශනයට සකල ලෝකය ම විරුද්ධය. (මක්නිසා ද? ආර්‍ය්‍යයන් විසින් අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් දක්නා පඤ්චස්කන්ධය ලෝකයා විසින් නිත්‍ය සුඛ සුභ වශයෙන් දක්නා හෙයිනි.)
4. යම් ඒ පඤ්චස්කන්ධයක් අන්‍යයෝ සැපය යි කියත් ද ඒ පඤ්චස්කන්ධය ආර්‍ය්‍යයෝ දුකකැයි කියති. යම් පඤ්චස්කන්ධ නිරෝධයක් අන්‍යයෝ දුකකැයි කියත් ද ආර්‍ය්‍යයෝ ඒ නිරෝධය විමුක්ති සුඛය යි දනිත්.
5. දැකීමට දුෂ්කරවූ නිර්‍වාණ ධර්මය බලව. බාලයෝ ඒ නිර්‍වාණ ධර්‍මයෙහි මුළාවූවෝ වෙති. කෙලෙසුන් ගෙන් වැසුනවුන්ට නිවන හෝ ආර්‍ය්‍යයන්ගේ නිර්වාණ දර්ශනය හෝ නො දන්නවුන්ට නිවනත් ආර්‍ය්‍යයන් ගේ නිර්වාණ දර්ශනයත් අන්ධකාරයෙකි.
6. ප්‍රඥා දර්ශනයෙන් බලන්නා වූ සත්පුරුෂයනට ආලෝකයක් මෙන් ඒ නිර්වාණය විවෘතය. ධර්මය නො දන්නා බැවින් මෘගයන් බඳු ජනයෝ ළඟ ම ඇත්තා වූ ද නිවන නො දනිති.
7. භව රාගයෙන් ස්පර්ශ කරන ලද්දා වූ භව රාගය අනුව යන්නා වූ ත්‍රෛභූමක වෘත්ත සංඛ්‍යාත මාරයා ගේ වාසස්ථානයට පැමිණ ඉන්නා වූ සත්ත්වයන් විසින් මේ නිර්වාණ ධර්ම ලෙහෙසියෙන් අවබෝධ කළ හැක්කේ නො වේ.
8. යම් නිර්වාණ ධර්මයක් මනා කොට නුවණින් දැන රහත්හු පිරිනිවෙත් ද ඒ නිර්වාණය ආර්‍ය්‍යයන් හැර අන් කවරෙක් අවබෝධ කිරීමට සමත් වෙත් ද? (නොවේම ය.)
(දීඝනිකායේ කේවට්ට සූත්‍රයෙන්)
“විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං
එත්ථ ආපො ච පඨවී තේජෝ වායෝ න ගාධතී
-
එත්ථ දීඝඤ්ච රස්සඤ්ච අනං ථූලං සුභාසුභං,
එත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති,
විඤ්ඤාණස්ස නිරෝධෙන එත්ථෙතං උපරුජ්ඣති.”
තේරුම:-
ලෝකෝත්තර මාර්ගඥාන සංඛ්‍යාත විශිෂ්ට ඥානයෙන් දතයුතු වූ ඇසින් දැකිය හැකි වර්‍ණයක් හෝ සමාන කොට දැක්විය හැකි දෙයක් හහාේ නැත්තා වූ පටන් ගැනීම් පැවතීම් නැතිවීම් වශයෙන් වෙන් කොට දැක්විය හැකි කොන් නැත්තා වූ, හැම පැත්තෙන් ම ඇතුළුවීමට තොටුපල ඇත්තා වූ හෝ සැම පැත්තෙන් ම බැලීම හෝ ඇත්ාත වූ නිර්වාණ ධාතුවක් ඇත්තේ ය. ඒ නිර්වාණ ධාතුවෙහි ආපෝධාතුව ද පඨවී ධාතුව ද තේජෝ ධාතුව ද, වායෝ ධාතුව ද පිහිටක් නො ලබයි. (ඒ නිර්වාණ ධාතුව නිසා ඒ සියල්ල නිරුද්ධ වේ.)
ඒ නිර්වාණ ධාතුවෙහි දික් බව ද, කෙටි බව ද, කුඩා බව ද, මහත් බව ද, ලස්සන බව ද, කැත බව ද යන සියලු රූ සටහන් නිරුද්ධ වේ. ඒ නිර්වාණ ධාතුවෙහි නාමය රූපය යන දෙක ම මතු කිසි කලෙක ඇති නො වන පරිදි ඉතිරියක් නැතුව නිරුද්ධ වේ. ඒ නිර්වාණ ධාතුවෙහි පරිනිර්වාණච්‍යුති චිත්තය ය, මතු උත්පත්තියට හේතුවන කර්මවිඥානය ය යන විඥාන දෙක්හි නිරෝධයෙන් කියන ලද ඒ උපාදින්නක නාමරූප සියල්ල ම මතු කවර කලෙකවත් මතු වී නො එන පරිදි නිරුද්ධ වේ.
ඉහත දැක් වූ ගාථාවන්හි එන “විඤ්ඤාණං අනිදස්සනං අනන්තං, සබ්බතෝපභං” යන වචන විශේෂයෙන් සැලකිය යුතු වචන සතරෙකි. විඤ්ඤාණං යන වචනය පිටකත්‍රයේ බොහෝ තැන්වල යෙදී තිබෙන්නේ සිතය යන අර්ථය දැක්වීමටය. මෙහි ඒ වචනය යොදා තිබෙන්නේ නිවනය යන අර්ථය සඳහා ය. ඤාණ යනු සාමාන්‍යයෙන් ප්‍රඥාවට නමෙකි. වි යන්න නොයෙක් අර්ථයන්හි යෙදෙන උපසර්ගයෙකි. මෙහි වි යන උපසර්ගය මුලය යොදා ඇති ඤාණ යන්නෙන් කියැවෙන්නේ, නිවන සාමාන්‍ය ඥානයෙන් නොව ලෝකෝත්තර මාර්ගඵල චිත්තයන්හි යෙදෙන විශිෂ්ටඥානයෙන් දත යුත්තක් වන බවය. නිවන පෘථග්ජනයන්ට ඇතිවන සාමාන්‍ය ඥානයට විෂය දෙයක් නො වන බව එයින් කියැ වේ.
දැනුම වනාහි ප්‍රත්‍යක්ෂඥානය ය, අනුමාන ඥානය ය කියා දෙවැදෑරුම් වේ. ප්‍රත්‍යක්ෂ ඥානය ය කියනුයේ ඇසින් දැකිය යුත්තක් ඇසින්ම දැක දැන ගැනීම බඳු දැනීම්වලට ය. අනුමාන ඥානය යි කියනුයේ යමක් ගැන අනුන් කියනු ඇසීමෙන් හෝ පොතපත කියවීමෙන් හෝ යම්කිසි ලකුණක් දැකීමෙන් හෝ ඇතිවන දැනුම්වලට ය. ඒ ඒ දෙය ප්‍රත්‍යක්ෂකර ගැනීමට වෙන වෙනම ඉන්ද්‍රිය ඇත්තේ ය, රූපය ප්‍රත්‍යක්ෂකර ගන්නා ඉන්ද්‍රිය ඇස ය. ඒ ඉන්ද්‍රියයෙන් රූපය මුත් අනිකක් දත නො හැකි ය. ශබ්දය ප්‍රත්‍යක්ෂ කරන ඉන්ද්‍රිය කන ය. ගන්ධය ප්‍රත්‍යක්ෂ කරන ඉන්ද්‍රිය නාසය ය. රසය ප්‍රත්‍යක්‍ෂ කරන ඉන්ද්‍රිය දිවය. ස්පර්ශය ප්‍රත්‍යක්‍ෂ කරන ඉන්ද්‍රිය කය ය.
ලෝකෝත්තර නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්‍ෂ කරන ඉන්ද්‍රියය ලෝකෝත්තර ප්‍රඥෙන්ද්‍රිය ය. එය ඉන්ද්‍රිය විභාගයේ දී අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය ය-අඤ්ඤින්ද්‍රිය ය-අඤ්ඤාතාවින්ද්‍රිය ය කියා ඉන්ද්‍රිය තුනක් වශයෙන් දක්වා තිබේ. ඒ සියල්ල ම ආර්‍ය්‍යපුද්ගලයන් තුළ පමණක් ඇති වන ඉන්ද්‍රියයෝ ය. ගාථාවෙහි විඤ්ඤාණං යන පදයෙන් දැක්වෙන්නේ නිර්වාණ ධාතුව ලෝකෝත්තර ඥානෙන්ත්‍රිය තුනෙන් දත යුත්තක් බව ය.
පෘථග්ජනයන්ට ශ්‍රැතමය ඥානයෙන් නිවන දැනෙන්නේ එංගලන්තයට නො ගිය කෙනකුට අනුන් කියනු ඇසීමෙන් එංගලන්තය දැනෙන්නාක් මෙනි. එංගලන්තය ගැන අසා ඇතියකුට එය පිළිබඳව ඇති දැනීම සම්පූර්ණයෙන් ම වැරදි දැනීමක් නො වතුදු හරියටම හරි දැනුමක් ද නො වේ. සම්පූර්ණ දැනීමක් ද නො වේ. අසම්පූර්ණ වූ ඒ දැනුම ද නිෂ්ඵල එකක් නො වේ. එමෙන් නිර්වාණය පිළිබඳ ශ්‍රැතමය ඥානය සම්පූර්ණ දැනීමක් නො වෙතත්, එය ඒ පුද්ගලයාට මතු නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට උපකාර වේ.
පෘථග්ජනයන් විසින් නිවන පඤ්චස්කන්ධය අනුව සංසාරය අනුව සිතා ගත යුතු ය. පඤ්චස්කන්ධයේ ඇති දුක් නුවණැත්තා වූ පෘථග්ජනයන්ට වැඩි අපහසුවක් නැතිව තේරුම් ගත හැකි ය. සංසාර චක්‍රයේ නපුරත් තේරුම් ගත හැකි ය. පඤ්චස්කන්ධය පිළිබඳ වූ හැම දුකකම සන්සිඳීම නිවන ය. ඒ සන්සිඳෙන දුඃඛයන්ගේ වශයෙන් නිවන තේරුම් ගත යුතු ය.
සංසාර චක්‍රයේ පෙරළීමේ නපුර යම් පමණ වේ ද ඒ සියල්ලේ ම සන්සිඳීම නිවන ය. සංසාර චක්‍රයේ ඇති නපුරුකම් අනුව නිවනේ හොඳ බව සලකා ගත යුතු ය. නිවන පිළිබඳ හරි දැනීමක් නැති බව නිවන් ලැබීමට බාධාවක් නො වේ. බාධාව වන්නේ ප්‍රතිපත්තියේ වරද ය. කොළඹ ගැන හරි දැනීමක් ඇතත් නැතත් කොළඹට යන හරි මඟ ගමන් කළහොත් කොළඹට පැමිණෙන්නේ ය. එමෙන් නිවන ගැන හරි දැනීමක් කලින් ඇතත් නැතත් නිවනට පැමිණෙන ප්‍රතිපත්තිය හරියට පිරුව හොත් එයට නො වැරදීම පැමිණෙන්නේ ය.
අනිදස්සනං යන පදයෙන් නිවනෙහි ඇසින් දැකිය හැකි යම් කිසි රූ සටහනක් නැති බවත්, නිවන අසවල් වස්තුව වැනිය කියා උපමා කොට දැක්වීමට සුදුසු කිසිම දෙයක් ලෝකයෙහි නැති බවත් දක්වන ලදී. මේ කරුණ ගැන නාගසේන මහ රහතන් වහන්සේ ද:-
“අප්පටිභාගං මහාරාජ නිබ්බානං න සක්කා නිබ්බානස්ස රූපං වා සණ්ඨානං වා වයං වා පමාණං වා ඔපම්මේන වා කාරණේන වා හේතුනා වා නයේන වා උපදස්සයිතුං -”
යනු වදාළ සේක. “මහරජ! නිර්වාණය සමාන දෙයක් නැතියකි. නිවනේ රූපය හෝ සටහන හෝ වයස හෝ ප්‍රමාණය හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හේතුවකින් හෝ නය ක්‍රමයකින් හෝ නො දැක්විය හැකි ය” යනු එහි තේරුම ය.
අනන්තං යන පදයෙන් අසංස්කෘත ධාතු සඞ්ඛ්‍යාත නිර්වාණය වෙන් කර දත හැකි වීමට උපකාර වන පර්‍ය්‍යන්ත පරිච්ඡේද හෙවත් මායිම් ලකුණු නැතියක් බව දැක් වේ. ලෝකයට අයත් ඒ ඒ දෙවල් එකිනෙක වෙන් කර ගත හැකිවීමට මායිම් ඇත්තේ ය. ඇති වීම ය, නැති වීම ය, පැවැත්ම ය, පවත්නා ප්‍රදේශය ය, වට පිට ඇති වස්තූහු ය යන මේවා ඒ ඒ දේවල් වෙන් කර දැන ගැනීමට උපකාර වන ඒවා ය.
අසවල් දවසේ ඇති වූ දේය අසවල් කාලයේ අසවල් වේලාවේ ඇති වූ දේය කියා ඇතිවීමෙන් ඒ ඒ දේ වෙන් කර ගත හැකි ය. තිබී අසවල් කාලයේ නැති වූ දෙය ය කියා නැතිවීමෙන් ද ඒ ඒ දේවල් සලකාගත හැකි ය. පවත්නා කාලයෙන් ද ඒ ඒ දේ සලකා ගත හැකි ය. අසවල් තැන සිට අසවල් තැන දක්වා ඇති දෙය ය කියා පර්‍ය්‍යන්ත පරිච්ඡේදයෙන් ද ඒ ඒ දේවල් දත හැකි ය. අසවල් දෙයට උතුරෙන් ඇති දෙය ය, දකුණෙන් ඇති දෙය ය, උඩින් ඇති දෙය ය, අසවල් දේවල් අතර ඇති දෙය ය කියා වට පිටාවේ ලකුණුවලින් ද ඒ ඒ දෙය දත හැකි ය. නිවන පිළිබඳව ඒ කිසිම ලකුණක් ඇත්තේ නැත. ඒ නිවන පටන් ගැනීමක් නැති අවසානයක් නැති පිහිටි තැනක් නැති පරම සූක්ෂ්ම ස්වභාවයෙකි. පටන් ගැනීමක් හෙවත් ඇති වීමක් නැතිව නිවනක් තිබිය හැක්කේ කෙසේ ද? යන පැනයට පිළිතුරු මත් අන් තැනක දක්වන්නෙමු.
“සබ්බතෝ පභං” යන්නෙන් අර්ථ තුනක් දැක්වේ. “පභන්ති පන එතං කිර තිත්ථස්ස නාමං” යනුවෙන් කේවට්ට සූත්‍ර අටුවාවෙහි දැක්වෙන පරිදි “පභ” යන මෙය තොටට නමෙකි. කමටහන් අටතිසෙන් කවර කමටහනකින් වුව ද මේ නිවනට ඇතුළු විය හැකි බැවින් ඒ නිවන සැම තැනින් ම තොට ඇතියක් ය යන අර්ථයෙන් සබ්බතො පභ නම් වේ. නිවනට පැමිණීමට උපකාර නො වන කමටහනක් නැත. කවර කර්මස්ථානයකින් වුව ද නිවනට පැමිණිය හැකි ය. එහෙත් විදර්ශනාවෙන් තොරව ද නිවනට නො පැමිණිය හැකි ය. කවර කමටහනක් වුව ද වඩන තැනැත්තා විසින් නිවනට පැමිණිය හැකිවීමට ඒ සමථ කර්මස්ථානයෙන් සිත එකඟ කරගෙන විදර්ශනා වැඩිය යුතු ය.
“පභා” යනු රශ්මියට ද නමෙකි. “සබ්බතො පභන්ති” සබ්බතො පභාසම්පන්නං, නිබ්බානතොහි අඤ්ඤධම්මෝ සප්පභතරෝ වා ජෝතිමත්තතරෝ වා පරිසුද්ධතරෝ වා, පණ්ඩරතරෝ වා නත්ථි” යනුවෙන් අටුවාවෙහි දැක්වෙන පරිදි “සබ්බතෝ පභං” යනුවෙන් නිර්වාණය සැම පැත්තෙන් ම දීප්තිමත් සැම පැත්තෙන් ම බැබලීම ඇති පරම පාරිශුද්ධ ධර්මයක් බව දැක්වෙන බව කිය යුතු ය. තථාගතයන් වහන්සේ නිර්වාණය පරම පරිශුද්ධ කාන්තිමත් ධර්මයකැයි වදාරන්නේ චන්ද්‍ර සූර්‍ය්‍යාදීන් ගෙන් මෙන් නිවනෙන් රැස් විහිදීමක් ඇති නිසා නොව, කිලිටි කරන කිසිවක් ඒ නිර්වාණ ධාතුව හා මිශ්‍ර නො වන බැවින් හා එහි නො තැවරෙන බැවින් ය.
වස්ත්‍රාදියෙහි මෙන් අහසෙහි කිසිම දෙයක් අල්ලාගන්නා ස්වභාවයක් නැත. එබැවින් දැලි ගා අහස කිලිටි නො කළ හැකි ය. ජල ආදිය හා නොයෙක් දේ මිශ්‍රවන්නාක් මෙන් කිසි ම දෙයක් අහස හා මිශ්‍ර නො වන්නේ ය. එබැවින් යම්කිසිවක් මිශ්‍ර කොට ද අහස කිලිටි නො කළ හැකි ය. හැම කල්හි ම ආකාශ ධාතුව පිරිසිදුව පවත්නේ ය. එමෙන් ම නිර්‍වාණ ධාතුවත් අන් කිසි නාම ධර්මයක් සමග හෝ රූප ධර්මයක් සමග මිශ්‍රවීමක් නැතිව ගෑවීමක් නැතිව ලෝකයෙන් සර්වප්‍රකාරයෙන් වෙන්ව ලෝකෝත්තර ධර්මයක් වශයෙන් පවතී. එබැවින් එය සැමකල්හි ම ශුද්ධය. දීප්තියක් ඇත්තේ බැබලීමක් ඇත්තේ ශුද්ධ වස්තුවල ය. චන්ද්‍ර සූර්‍ය්‍යාදීන් ගේ මෙන් දීප්තිමත් භාවයක් නිවනෙහි නැත ද එය පරිශුද්ධ ධර්මයක් බැවින් දීප්තිමත් ධර්මයක් ලෙස බුද්ධාදීහු වර්ණනා කෙරෙති.
“සබ්බතෝ පභං” යනුවෙන් දැක්වෙන තවත් අර්ථයක් නම් නිවන සැමතැන ම ඇතියක් ය යනු යි. “සබ්බතෝ වා පභූ තමේවා කත්ථචි න නත්ථිති සබ්බතෝ පභා” යනු අටුවා යි. නිවන සැම තැනම ඇතිය කැයි කියනුයේ කොතැනක වුව ද සිට එය ප්‍රත්‍යක්ෂ කළ හැකි බැවිනි. නිවන ලෝකයට අයත් නො වන බැවින් ද සංස්කාරයන් හා කිසිම සම්බන්ධයක් නැතිව පවත්නා බැවින් ද නිවන පිහිටි තැනක් නැතය යි ද කිය යුතු ය. ඇති තැනක් ද නැති, නැති තැනක් ද නැත මේ නිවන පරම සූක්ෂම ධාතුවෙකි.
නිවනෙහි කිසිවක් නැතය යි කීමට බිය වන ඇතැම්හු එහි සූක්ෂ්ම විඥානයක් ඇත ය යි ද, තවත් සමහරු එහි සූක්ෂ්ම රූපයක් ඇත ය යි ද කියති. සූක්ෂ්ම වූ හෝ ඖදාරික වූ හෝ කිසිම නාම ධර්මයක් හෝ රූප ධර්මයක් හෝ නිවනෙහි නැති බව “එත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති” යන බුදු වදනින් දැක් වේ. ඒ නිවනෙහි නාමයක් ඉතිරිව නැති පරිදි නිරුද්ධ වේය යනු එහි තේරුම යි. සූක්ෂ්ම විඥානයක් හෝ රූපයක් නිවනෙහි ඇතිනම් එහි ඉතිරියක් නැතිවන සැටියට නාමරූපයන් නිරුද්ධ වන බව නො වදාරන්නාහ.
“අත්ථි භික්ඛවේ! තදායතනං. යත්ථ නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානඤ්චායතනං න විඤ්ඤාණඤ්චායතනං න ආකිඤ්චඤ්ඤායතනං න නේවසඤ්ඤානාසඤ්ඤායතනං නායං ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්දිම සූරියා. තත්‍රපාහං භික්ඛවේ! නේව ආගතිං වදාමි. න ගතිං න ඨිතිං න චුතිං න උපපත්තිං අප්පතිට්ඨං අප්පවත්තං අනාරම්මණ මේවේතං ඒසේවන්තෝ දුක්ඛස්සාති.”
තේරුම :-
“මහණෙනි! ඒ (නිර්වාණ සංඛ්‍යාත) ආයතනයක් ඇත්තේ ය. එහි කර්කශ ලක්‍ෂණ ආපෝධාතුව ද නැත. පරිපාචන ලක්‍ෂණ තේජෝධාතුව ද නැත. විස්තම්භන ලක්‍ෂණ වායෝ ධාතුව ද නැත. ආකාසානඤ්චායතන චිත්තය ද නැත. විඤ්ඤාණඤ්චායතන චිත්තය ද නැත. ආකිඤ්චඤ්ඤායතන චිත්තය ද නැත. නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තය ද නැත. ඒ නිවන මේ ලෝකය ද නොවේ. පරලොව ද නො වේ, එහි චන්ද්‍ර සූර්‍ය්‍ය දෙදෙන ද නැත. මහණෙනි! මම ඒ නිවන සත්ත්වයන් එන තැනකැයි නො කියමි. සත්ත්වයන් යන තැනකැයි ද නො කියමි. සත්ත්වයන් නැවතී ඉන්නා තැනකැයි ද නො කියමි. සත්ත්වයන් මැරෙන තැනකැයි ද නො කියමි. උපදින තැනකැයි ද නො කියමි. එහි සංස්කාරයන් ගේ නැවත නැවත ඉපදීම් වශයෙන් පැවැත්මක් නැති ස්වභාවයක් ම ය. නාම ධර්මයක් වුව ද චිත්තචෛතසිකයන් සේ රූපාදි අරමුණු ගැනීමක් නො කරන ධර්‍මයක් ම ය. දුක්ඛයා ගේ අන්තය ඒ නිර්වාණ ධර්මය ය.”
මේ සූත්‍රයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූතධාතු සතර නිවනෙහි නැති බව ප්‍රකාශ කිරීමෙන් දක්වන්නේ එහි කාම රූප භව දෙකට අයත් කිසි සංස්කාරයක් නැති බව ය. කාමාවචර රූපාවචර සත්ත්වයන් ගේ ප්‍රතිෂ්ඨාව මහාභූත සතර ය. මහාභූත ධාතූන් නැති කල්හි ඒවායේ පිහිටා ඇතිවන චක්ෂුරාදි ඉන්ද්‍රිය රූපයෝ ද ඇති නො වෙති. හෘදය රූපය ද ඇති නො වේ. ඉන්ද්‍රිය රූප හා හෘදය රූපය නැති කල්හි චක්ෂුර්විඥානාදි විඥාන සය ද ඇති නො වේ. මහාභූත සතර නැති බව දැක් වූ කල්හි කාම රූප භව දෙකට අයත් කිසිම සංස්කාරයක් නැති බව දැක්වූයේ වේ.
ආකාසානඤ්චායතනාදි ධ්‍යාන සතර නිවනෙහි නැති බව පැවසීමෙන් එහි අරූප භවයට අයත් කිසිම සංස්කාරයක් නැති බව දැක් වේ. අරූපාවචර සත්ත්වයන් ගේ ප්‍රතිෂ්ඨාව අරූපධ්‍යාන සතරය. ඒවා නැති කල්හි අරූප භවයට අයත් අන්කිසි අරූප ධර්මයක් ද ඇති නො වේ. එබැවින් අරූපධ්‍යාන නැති බව දැක්වීමෙන් අරූප භවයට අයත් සියලු ම ධර්මයන් ගේ නැති බව දැක්වීම සිද්ධය. මේ සූත්‍රයෙහි මෙලොවය යනුවෙන් අදහස් කරන්නේ වර්තමාන භවය ය. පරලොවය යනුවෙන් අදස් කරන්නේ අනාගත භව පරම්පරාවය. නිවන මෙලොවත් නො වේ ය, පරලොවත් නො වේ ය යි පැවසීමෙන් දැක්වෙන්නේත්, කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රයට අයත් කිසිම සංස්කාරයක් එහි නැති බවම ය.
නිවන කිසි රූපධර්මයක් නැති තැනකැ යි කී කල්හි අසන්නවුන්ට සමහර විට එය මහ අඳුරක්ය කියා හෝ අඳුරු තැනක්ය කියා හෝ සිතෙන්නට පිළිවන. මේ සූත්‍රයෙහි නිවනෙහි ඉරසඳ නැතිබව වදාරා තිබෙන්නේ එහි අඳුරක් නැති බැවින් පිටතින් ආලෝකයක් එයට වුවමනා නැති බව දැක්වීමට ය.
සත්ත්වයාය - පුද්ගලයාය - මමය - අනිකාය - මිනිසාය - දෙවියාය - තිරිසනාය කියා ව්‍යවහාර කරන්නේ නාම රූපයන්ට ය. නිවන ය යි කියනුයේ නාම රූප නිරෝධයට ය. නාමරූප ඇතිතාක් එතැන නිරෝධය නැත. නිරෝධය ඇතිනම් එතැන නාමරූප නැත. නිවන සත්ත්වයන් යන එන සිටින තැනක් නොවන බව මේ සූත්‍රයෙහි දක්වන්නේ සත්ත්ව වශයෙන් සලකන නාම රූපයන් එහි ඇති නො වන නිසා ය. නැති බැව්හි ඇති බව නො පැවතිය හැකි ය.
“නිවන සත්ත්වයන් යන එන සිටින තැනක් නො වේ නම්, එබඳු නිවනකින් ඇති ප්‍රයෝජනය කවරේද?” යන ප්‍රශ්නය මෙහිදී ඇති වේ. නිවනින් ලබන්නට ඇත්තා වූ ප්‍රයෝජනය නම් දුක්ගිනි නිවා ගැනීම ය. සත්ත්වයන් ගේ දුක් ගිනි නිවෙන්නේ ද නිවනට පැමිණ වාසය කිරීමෙන් නොව නිවන් දැකීමෙනි. අන් කවර ධර්මයකට වත් නැති දක්නවුන් ගේ දුක්ගිනි නිවාලන පුදුම ආනුභාවයක් නිවනට ඇත්තේ ය. හරියට ම නිවන දැකීමට සමත් වන ලෝකෝත්තර ඥාන චක්ෂුසින් නිවන දෙස බැලුවහොත් එයින් ඒ තැනැත්තා ගේ දුක්ගිනි මතු කවර කලෙකවත් නූපදනා පරිදි නිවී යන්නේය. නිවන දුටු ඒ පින්වතා ඒ නිවීම් සුවයට හිමියෙක් වන්නේ ය.
නිවන ඇත්තේ පැමිණ වාසය කිරීමට නොව දැකීමට ය. නිවන් දකිනවාය, නිවන් දුටුවාය යන වචන බෞද්ධයන් අතර ව්‍යවහාරයට පැමිණ තිබෙන්නේ එහෙයිනි. නිවනට පිවිසියේ ය, නිවන් ගියේ ය, නිවනට පැමිණියේ ය යන ව්‍යවහාර ඇතත් ඒවා පර්‍ය්‍යාය කථාය. නිවන් කථාවේදී ව්‍යවහාරයට ඉතා හොඳ වචන නිවන් දකිනවාය, නිවන් දුටුවා ය යන වචනයෝ ය.
කළ යුතු වැඩවලින් ඉතාම අමාරු දෙය නිවන් දැකීමය, එබැවින් තථාගතයන් වහන්සේ විසින් :-
“දුද්දසං අනතං නාම නාභි සච්චං සුදස්සනං
පටිවිද්ධා තණ්හා ජානතෝ පස්සතෝ නත්ථි කිඤ්චනං”
යනු වදාරන ලදි. එහි තේරුම :- “නිවන දැකීමට දුෂ්කර ය. නිවන පහසුවෙන් දැකිය හැකි නොවේ ය. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දන්නා වූ - දක්නා වූ තැනැත්තා විසින් ප්‍රහාණය කිරීම් වශයෙන් තෘෂ්ණාව දක්නා ලද්දේ ය. ඉන් පසු ඔහුට කිසි පළිබෝධයක් නැත්තේ ය” යනුයි. මේ ගාථාවෙහි “අනතං සච්චං” යන වචන දෙකෙන්ම කියැවෙන්නේ නිවන ය.
“අත්ථි භික්ඛවේ: අජාතං අභූතං අකතං අසංඛතං, නො චේතං භික්ඛවෙ! අභවිස්ස අජාතං අභූතං අකතං අසංඛතං න යිධ ජාතස්ස භූතස්ස කතස්ස සංඛතස්ස නිස්සරණං පඤ්ඤායේථ. යස්මා ච ඛෝ භික්ඛවෙ! අත්ථි අජාතං අභූතං අකතං අසංඛතං තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සංඛතස්ස නිස්සරණං පඤ්ඤායතීති.”
තේරුම:-
“මහණෙනි! වේදනාදිය මෙන් හේතූන් නිසා නූපන්නා වූ අහේතුකව හෝ පහළ නො වූ, යම්කිසි හේතුවකින් ඇති නො කළා වූ බොහෝ හේතු ප්‍රත්‍යයන් එකතුව හෝ ඇති නො කළා වූ නිර්වාණ ධාතුව පරමාර්ථ වශයෙන් ඇත්තේ ය. මහණෙනි! ඉදින් ඒ නූපන්නා වූ, නො පහළ වූ, හේතුවකින් ඇති නො කළා වූ, බොහෝ හේතූන් හෝ එක්වී ඇති නො කළා වූ නිර්වාණ ධාතුව නැත්තේ නම්: හේතූන් නිසා උපදාන ස්වභාවය ඇත්තා වූ පහළ වන ස්වභාවය ඇත්තා වූ, හේතුවකින් ඇති කරන ස්වභාවය ඇත්තා වූ, බොහෝ හේතූන් එක්වී ඇතිකරන ස්වභාවය ඇත්තා වූ, පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්ධයා ගේ නිවීමෙක් නො වන්නේ ය. මහණෙනි: යම්හෙයකින් නූපන් නො හටගත් ප්‍රත්‍යයෙන් ඇති නො කළ, බොහෝ හේතූන් එක්ව හෝ ඇති නො කළ, නිර්වාණ ධාතුව පරමාර්ථ වශයෙන් ඇත්තේ ද, ඒ නිසා ප්‍රත්‍යයන් නිසා උපදනා ස්වභාවය ඇති, පහළ වන ස්වභාවය ඇති, ප්‍රත්‍යයන් ඇති කරන ස්වභාවය ඇති, බොහෝ ප්‍රත්‍යයන් එක්ව ඇති කරන ස්වභාවය ඇති පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛයා ගේ නිවීමක් ඇත්තේ ය.”
එක් කලෙක තථාගතයන් වහන්සේ නොයෙක් අයුරින් සංසාරයේ ආදීනවයත් නිවනත් දක්වමින් දහම් දෙසූ සේක. දහම් ඇසූ ඇතැම් භික්‍ෂූන්ට “බුදුන් වහන්සේ විසින් අවිද්‍යාදි හේතූන් ගේ වශයෙන් සංසාරය සහේතුක කොට වදාරන ලද්දේ ය. සංසාර දුඃඛය සන්සිඳුවන නිර්වාණය පිළිබඳව කිසි හේතුවක් ප්‍රත්‍යයක් නො වදාරන ලද්දේ ය. නිර්වාණය පිළිබඳ කිසි හේතු ප්‍රත්‍යයක් නො වදාරන්නේ එය අහේතුක නිසා විය හැකි ය. අහේතුක වූ නිර්වාණය පරමාර්ථ වශයෙන් ඇති විය හැක්කේ කෙසේ ද? යන කල්පනාවක් ඇති විය.
බුදුන් වහන්සේට ඒ භික්‍ෂූන්ට ඇති වූ කල්පනාව පෙනී නිවන එක්තරා පරමාර්ථ ධර්මයක් වශයෙන් ඇතියක් බව දැක්වීම පිණිස “අත්ථි භික්ඛවෙ! අජාතං අභූතං” යනාදි උදාන පාඨය වදාළ සේක. මේ සූත්‍රයෙන් දක්වන කෙටි අදහස නම්, නිවන හටගැනීමක් ඇති වීමක් නැතිව ම පරමාර්ථ වශයෙන් ඇති ධර්මයක් බව ය.
නිර්වාණ ධාතුව හට ගැනීමක් නැතිව ඇතය යන මෙය ගැඹුරු කරුණෙකි. නිර්වාණය හරියට තේරුම් ගැනීමට අපහසු වීමට ඇති කරුණුවලින් මේ හටගැනීමක් නැතිව ඇති බවත් එක් කරුණෙකි. යමක් ඇති නම් එහි හට ගැනීමකුත් තිබිය යුතුයකි. නො හට ගත් දෙයක් සත්‍ය වශයෙන් නො තිබිය හැකිය යනු ද එක්තරා නීතියකි. ලොව ඇත බොහෝ දේවල්වලට ඒ නීතිය සාධාරණ වුව ද එය සර්ව සාධාරණ නීතියක් නො වේ. හටගැනීමකුත් නැතුව ඇති ධර්ම ද ඇත්තේ ය. පරමාර්ථ ධර්ම අනුව කථා කරත හොත් ප්‍රඥප්තීන් නැති දේවල් සැටියට කිය යුතු ඒවා ය. එහෙත් ප්‍රඥප්ති ද සර්වප්‍රකාරයෙන් නැති ඒවා නොව ප්‍රඥප්ති භාවයෙන් ඇති ඒවා ය.
මේසය එක්තරා ප්‍රඥප්තියකි. එය ද හටගැනීමක් නැතිව ඇතියකි. එයත් ගැඹුරු කරුණෙකි. මේසය කලින් නො තිබී වඩුවකු ගේ ව්‍යායාමයෙන් ඇති වූවක් ය යනු බොහෝ දෙනා ගේ පිළිගැනීම ය. එහෙත් එය එසේ නො වේ. මේසය කලින් නො තිබී පසුව ඇති වූවක් ලෙස පිළිගන්නේ මේසය හරියට නො හඳුනන නිසා ය. මේසය හැදීමක් හට ගැනීමක් නැතිව ඇති දෙයක් බව තේරුම් ගත හැකි වන්නේ මේසය කුමක් ද කියා හරියට තේරුම් ගත හොත් ය. මේසයේ හටගැනීමක් නැතිව ඇති බව තේරුම් ගැනීම නිවනෙහි හට ගැනීමක් නැතිව ඇති බව තේරුම් ගැනීමට උපකාර වන්නේ ය.
පා සතරකුත් ඒවා එකිනෙකට සම්බන්ධ කරන ලෑලි කැබලිසතරකුත් ඒවාට උඩින් ලෑලි තට්ටුවකුත් සාමාන්‍යයෙන් මේසයකට ඇත්තේ ය. මේසය ය යි කියනුයේ ඒ ද්‍රව්‍ය සමූහයට නො වේ. ඒ ද්‍රව්‍ය සමූහය ම මේසය ය කියතහොත් ඒ ලී කැබලි ටික එක මිටියකට බැඳ තැබුවාමත්, ඒ ලී මිටිය මේසය විය යුතුය. මේසයකට වුවමනා පරිදි ලී කොටය කැබලි කරන්නට කලින් ඒ ලී කොටයෙහි මේසයට ගත් ලී සියල්ලම ඇති නිසා ඒ නො ඉරූ ලී කොටයමත් මේසය විය යුතු ය. මේසයට ගත් ලී සියල්ල ගසේ තිබුණු බැවින් ගසක් මේසය විය යුතු ය. මේසයට ගන්නා ලී සියල්ල ඇති ගසත්, කොටයත්, එයින් මේසය සඳහා ඉරාගත් ලී කැබලි ටිකත්, ඒ සියල්ලම ඇති ලී මිටියත් මේසය නො වීමෙන් සාදා නිමකර ඇති මේසයේ ලී කැබෙලි ටිකත් මේසය නො වන බව තේරුම් ගත යුතු ය.
සැබෑ මේසය නම් පා සතරත් ඒවා එකිනෙකට සම්බන්ධ කරන ලෑලි සතරත් ඒවා මත පිහිටුවන ලෑලි තට්ටුවත් එක්තරා ආකාරයකට සම්බන්ධ කළ කල්හි ඒ ලී කැබලි ටිකේ පිහිටීම අනුව සිතට පමණක් දැනෙන හසුවන එක්තරා සූක්ෂ්ම ස්වභාවයකි. ඒ සූක්ෂ්ම ස්වභාවය වූ මේසය ඇසට පෙනෙන්නක් නො වේ. අතට හසුවන්නක් ද නො වේ. ඇසට පෙනෙන්නේත් අතට හසුවන්නේත් අර ලී කැබෙලි ටික ය. පරමාර්ථ සත්‍යය අනුව කථා කරතහොත් කියයුත්තේ ලී කැබෙලි ටික හැර මේසය කියා දෙයක් නැති බවය. එහෙත් ඒ ආකාරයෙන් පිහිටුවන ලද ලී කැබෙලිවල අනුසාරයෙන් සිතට ඇති සැටියට දැනෙන මේසය සම්පූර්ණයෙන් නැතියක් ම නො වේ. මේසයය කියා දෙයක් සිතට හසුවන්නේ - සිතට දැනෙන්නේ එබඳු දෙයකුත් එක්තරා ආකාරයකින් ඇති නිසා ය. පරමාර්ථ වශයෙන් නො ලැබෙන සිතට පමණක් අසුවන එබඳු දේවලට ප්‍රඥප්තිය යි කියනු ලැබේ.
මේසය වශයෙන් සලකන දාරුමය ද්‍රව්‍යය ගෙන ගිනි මැලයකට දැමුවහොත් දැවී හලු වී යන්නේ මේසය නොව ලී කැබලි ටික ය. ඇසට හෝ අතට හසු නො වන ප්‍රඥප්තියක් වූ මේසය ගින්නට හසුවන්නේ නො වේ. එබැවින් ගින්නෙහි ලෑමෙන් ලී කැබලි ටික මිස මේසය විනාශ නො වන බව තේරුම් ගත යුතු ය. අන් ක්‍රමයකින් වුවද ලී කැබෙලි ටික ම මිස මේසය විනාශ නො කළ හැකිය. මේසය කිසි කලෙක කවර හේතුවකින් වත් විනාශ වන්නක් නොවේ. උපක්‍රමයෙන් විනාශ කළ නො හෙන්නා වූ ද, ඉබේ වුවද විනාශ වීමක් සිදු නො වන්නා වූ ද, මේසය කිසිවකුට ඇති කළ හැක්කේ ද නො වේ. වඩුවා කරන්නේ ඔහු ගේ සිතට දැනෙන මේස සටහන ප්‍රකට වන පරිදි ලී කැබෙලි පිහිටු වීම ය. මේසයක් ඔහුට ඇති නො කළ හැකි ය.
වඩුවා පිළියෙල කළ කැබලි සංයෝගය දක්නවුන් ගේ සිතට ද එය අනුව මේස සටහන දැනෙන්නේ ය. මේ සටහන මේස ප්‍රඥප්තිය වඩුවා ගේ ව්‍යායාමය නිසා ඇති වූවක් නොව කලින් ම තුබූ දෙයකි. එය අසවල් කාලයේ ඇති වූවක් ය, ඉන් පෙර තුබුණේ නැත ය කියා දැක්වීමට කාලයක් නැත. එබැවින් මේසය නමැති ප්‍රඥප්තිය පළමුවෙන් ඇතිවීමක් හෙවත් පටන් ගැනීමක් නැතුව ඇතියක් බව දත යුතු ය. පටන් ගැනීමක් නැතිව ඇත්තා වූ එබඳු දේවල විනාශයක් නැති බව ද තේරුම් ගත යුතු ය.
(ප්‍රඥප්තිය හා පරමාර්ථය විස්තර කරන ඇතැම් අභිධර්ම පොත්වල ප්‍රඥප්තියේ වෙනස් වීමක් විනාශයක් ඇති බව පවසා මහ අවුලක් කර තිබේ. එය ඒ ගත් කරුවන්ට වැරදීමකි.)
මේසය පිළිබඳව කියන ලද කරුණත් ගැඹුරු කරුණෙකි. කියවන්නාට එය හොඳින් තේරුණා නම් ඇතිවීමක් නැතුව නිර්වාණ ධාතුවත් තිබිය හැකි බව තේරුම් ගත හැකි වනු ඇත.
මුලින් ඇතිවීමක් නැතුව ඇත්තා වූ මේසය ද්‍රව්‍යයක් නො වන නිසා එයට තිබෙන්නට තැනක් ද වුවමනා නැත. එබැවින් මේස නමැති ප්‍රඥප්තිය ඇති තැනක් ද නැති බව කිය යුත ුය. සැම තැනකදී ම එය සිතට හසුවන බැවින් එය සැමතැන ම ඇති දෙයකැ යි ද කිය යුතු ය. එමෙන් ම නිර්වාණ ධාතුවටත් පිහිටීමට තැනක් නුවුවමනා බැවින් එය ඇති තැනකුත් නැත ය යි ද, කොතැනකදී වුවත් ලැබිය හැකි බැවින් සැම තැන ම ඇතය යි ද කිය හැකි ය.
ආකාශය ද පටන් ගැනීමක් නැතුව ඇති එක් දෙයකි. ආකාශය කාහටත් ප්‍රත්‍යක්ෂ දෙයකි. ආකාශයක් ඇති බව කවුරුත් පිළිගනිති. මේ ආකාශය අසවල් කාලයෙන් ඔබ තිබුණේ නැත. ආකාශය ඇත්තේ අසවල් කාලයේ පටන් යයි කිය හැකි කාලයක් නැත. එය මුලු අතීත කාලයේ ම පැවැත්තේ ය. මෙය නුවණින් කල්පනා කරන කාහට වුවත් පිළිගත හැකි කරුණෙකි. පළමුවෙන් ඇතිවීමක් නැතුව ආකාශය සැම කල්හි ම පවත්නාක් මෙන් නිවනත් ඇති වීමක් නැතුව සැමකල්හි පවත්නක් බව තේරුම් ගත යුතු ය.
යම්කිසි හේතුවකින් හෝ ඉබේ ම හෝ හටගැනීමක් නැතිව ඇත්තා වූ නිවන ආකාශය සේ සිස් බවක් නො වේ. මේසය බඳු ප්‍රඥප්තියක් ද නො වේ. එය එක්තරා පරමාර්ථ ධර්මයකි. ඒ බව දත යුත්තේ එහි ඇති ආනුභාවයෙනි. සිස් බවෙහි කිසි ආනුභාවයක් නැත. සියලු කෙලෙස් නැති කිරීමේ, සියලු දුක් නැති කිරීමේ මහානුභාවයක් නිවනෙහි ඇත. නිවන් පසක් කිරීමෙන් හෙවත් නුවණැසින් නිවන දැකීමෙන් දුටු තැනැත්තා ගේ කෙලෙස් මතු නූපදනා පරිදි නැති වී යන්නේත් දුක් නැති වී යන්නේත් නිවනේ ආනුභාවයෙනි. එබඳු ආනුභාවයක් සිස්බවෙහි නැති බැවින් නිර්වාණධාතුව ආනුභාව සම්පන්න එක්තරා පරමාර්ථ ධර්මයකැ යි පිළිගත යුතු ය.
“තත්ථ කතමා අසංඛතා ධාතු? රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ, අයං වුච්චති අසංඛතා ධාතු”
තේරුම:-
“එහි අසංඛත ධාතුව කවරේද? රාගයා ගේ ක්ෂයය, ද්වේෂයා ගේ ක්ෂය ය, මෝහයා ගේ ක්ෂය ය යන මෙය අසංඛත ධාතුව” ය යි කියනු ලැබේ.
නිවනට බොහෝ නම් ඇත්තේ ය. මේ විභංග පාඨයෙහි දැක්වෙන්නේ බොහෝ නිර්වාණ නාමයන් අතුරෙන් අසංඛත ධාතු යන නාමය ය. ධාතු යන වචනයේ තේරුම සත්ත්ව නොවන පුද්ගල නො වන දෙය යනු යි. නිවනෙහි ද සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැති බැවින් එයට ද ධාතු යන නාමය යෙදේ. නිර්වාණ ධාතුවෙන් අන්‍ය වූ සකල ධාතූහු ම ප්‍රත්‍යයන් නිසා හට ගන්නාහු ය. එබැවින් ඒ ධාතූන්ට සංඛත ධාතු යන නම කියනු ලැබේ. නිර්වාණය නැමැති මේ එකම ධාතුව පමණක් ප්‍රත්‍යයෙන් හටගැනීමක් නැතිව ඇත්තා වූ ධාතුව ය. එබැවින් එයට අසංඛත ධාතුව ය යි කියනු ලැබේ.
කියන ලද විභංග පාඨයේ අර්ථය ගැඹුරින් නො බලා මතුපිටින් පමණක් බැලුවහොත් රාග ද්වේෂ මෝහයන් ගේ අභාවය වූ සිස් බවම නිවනය කියා වැරදි හැඟීමක් ඇති විය හැකි ය. එසේ වරදවා අර්ථය නො ගනු පිණිස,
“අසංඛථධාතූති: අසංඛතසභාවං නිබ්බානං, යස්මා පනේතං ආගම්ම රාගාදයෝ ඛියන්ති තස්මා රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝති වුත්තං” යි අර්ථකථාවෙහි කීහ.
“අසංඛත ධාතු යනු අසංස්කෘත ස්වභාවය ඇති නිර්වාණය ය. යම් හෙයකින් ඒ නිවන නිසා රාගාදීහු ක්ෂය වෙත් ද එබැවින් එයට අසංඛත ධාතුවය” යි කියනු ලැබේය යනු අටුවා පාඨයේ තේරුම ය.
විභංග පාඨයෙහි රාගක්ඛය - දෝසක්ඛය - මෝහයක්ඛය යන වචන තුනෙන් දක්වන්නේ රාගාදීන් ගේ අභාවය වූ සිස් බව නොව මෙහි ඉහත විස්තර කරන ලද දුඃඛස්කන්ධයා ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත ශාන්ත සුඛස්වභාවය ය. ඉහත කී පාඨයේ අර්ථය වරදවා තේරුම් ගෙන රාගාදීන් ගේ අභාවය වූ සිස් බව ම නිවනය යි ගත්තෝ පෙර ද වූහ. එබැවින් ඒ කාරණය පිළිබඳ සංවාදයක් විභංග අටුවාවේ දක්වා තිබේ. එද නිවන් තතු සොයන්නවුන්ට බොහෝ ප්‍රයෝජන බැවින් මේ ගතට ද ඇතුළත් කරනු ලැබේ.
“අසංඛත ධාතූති අසංකත සභාවං නිබ්බානං. යස්මා පනේතං ආගම්ම රාගාදයෝ ඛීයන්ති. තස්මා රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝති වුත්තං. අයමෙත්ථ ආචරියානං සමානත්ථකථා”
විතණ්ඩවාදී පනාහ. “පාටියෙක්කං නිබ්බානං නාම නත්ථි කිලේසක්ඛයෝ ච නිබ්බාන”න්ති.
සුත්තං ආහරාති ච වුත්තේ “නිබ්බානං නිබ්බානන්ති ආවුසෝ සාරිපුත්ත වුච්චති. කතමං නු ඛෝ සාරිපුත්ත නිබ්බානන්ති? යෝ ඛෝ ආවුසෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං වුච්චති නිබ්බානන්ති” එතං ජම්බුඛාදක සුත්තං ආහරිත්වා ඉමිනා සුත්තේන වේදිතබ්බං පාටියෙක්කං නිබ්බානං නාම නත්ථි කිලේසක්ඛයෝ ව නිබ්බානන්ති” ආහ.
සෝ වත්තබ්බෝ කිම්පන යථා වේ තං සුත්තං තථා අත්ථෝති? අද්ධා වක්ඛති, ආම, නත්ථි සුත්තතෝ මුඤ්චිත්වා අත්ථොති.
තතෝ වත්තබ්බෝ, ඉදං තාව තේ සුත්තං ආහතං අනත්තර සුත්තං ආහරාති. අනත්තර සුත්තං නාම අරහත්තං අරහත්තන්ති ආවුසෝ සාරිපුත්ත වුච්චති, කතමං නු ඛෝ ආවුසෝ අරහත්තන්ති? යෝ ඛෝ ආවුසෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං වුච්චති අරහත්තන්ති. ඉදං තස්සේවානන්තරං ආහතසුත්තං.
ඉමස්මිං පන සුත්තේ ආහතේ ආහංසු නිබ්බානං නාම ධම්මායතන පරියාපන්නෝ ධම්මෝ, අරහත්තං චත්තාරෝ ඛන්ධා, නිබ්බානං සච්ඡිකත්වා විහරන්තෝ ධම්මසේනාපති නිබ්බානං පුච්ඡිතෝපි අරහත්තං පුච්ඡිතෝපි කිලේසක්ඛයමෙව ආහ. කිං පන නිබ්බානඤ්ච අරහත්තඤ්ච ඒකං, උදාහු නානන්ති.
ඒකං වා හෝතු නානං වා. කෝ එත්ථ තයා අතිබහුං චුණ්ණීකරණං කරොන්තේන අත්ථො.
නත්‍වං ඒකං නානං ජානාසීති නනු ඤාතේ සාධු හෝතීති. ඒවං පුනප්පුනං පුච්ඡිතෝ වඤ්චේතුං අසක්කොන්තෝ ආහ. රාගාදීනං ඛීනන්තේ ජාතත්තා අරහත්තං රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝති වුච්චතීති.
තතෝ නං ආහංසු, මහාකම්මං තේ කතං. ලඤ්ඡං දත්‍වාපි තං වදාපෙන්තෝ ඒතදේව වදාපෙය්‍ය. යථෙව තේ ඒතං විභජිත්‍වා කථිතං ඒවං ඉදම්පි සල්ලක්ඛෙහි, නිබ්බානං ආගම්ම රාගාදයෝ ඛීණාති. නිබ්බානං රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝති වුත්තං. තීනිපි චේතානි නිබ්බානස්සේච වේවචනානීති. සචේ ඒවං වුත්තේ සඤ්ඤත්තිං ගච්ඡති ඉච්චේතං කුසලං. නෝ චේ බහුනිබ්බානතාය කාරෙතබ්බෝ. කථං? ඒවං තාව පුච්ඡිතබ්බෝ. රාගක්ඛයෝ නාම රංගස්සේවක්ඛයෝ උදාහු දෝස මෝහානම්පි? දෝසක්ඛයො නාම දෝසස්සෙව ඛයො උදාහු රාගමෝහානම්පි? මෝහක්ඛයෝ නාම මෝහස්සේව ඛයෝ උදාහු රාගදෝසානම්පීති?
අද්ධා වක්ඛති. රාගක්ඛයෝ නාම රාගස්සෙව ඛයෝ. දෝසක්ඛයෝ නාම දෝසස්සේව ඛයෝ. මෝහක්ඛයෝ නාම මොහස්සේව ඛයෝති්තා.
තතෝ වත්තබ්බෝ, තව වාදේ රාගක්ඛයෝ ඒකං නිබ්බානං හෝති, දෝසක්ඛයෝ ඒකං, මෝහක්ඛයෝ ඒකං. තිණ්ණං අකුසල මූලානං ඛයේ තීණි නිබ්බානානි හොන්ති, චතුන්නං උපාදානානං ඛයේ චත්තාරි, පඤ්චන්නං නීවරණානං ඛයේ පඤ්ච, ඡන්නං තණ්හාකායානං ඛයේ ඡ, සත්තන්නං අනුසයානං ඛයේ සත්ත. අට්ඨන්නං මිච්ඡත්තානං ඛයේ අට්ඨ, නවන්නං තණ්හා මූලික ධම්මානං ඛයේ නව, දසන්නං සංයෝජනානං ඛයේ දස, දියඩ්ඪකිලේස සහස්සස්ස ඛයේ පාටියෙක්කං නිබ්බානන්ති බහූනි නිබ්බානානි හොන්ති. නත්ථි තේ නිබ්බානානං පමාණන්ති. ඒවං පන අග්ගහෙත්‍වා නිබ්බානං අගම්ම රාගාදයෝ ඛීණාති. ඒකමේව නිබ්බානං රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝති වුච්චති. තීණිපි චේතානි නිබ්බානස්සේව වේවවනානිතී ගණ්හ.”
ධර්මය හරියට තේරුම් නොගෙන නොයෙක් මිථ්‍යාමත ඇති කරගෙන ධර්මවාදීන් හා වාදයට එන පුද්ගලයන්ට අටුවාවල ව්‍යවහාර කර තිබෙන නාමය විතණ්ඩවාදී යනුයි. නිවන පිළිබඳව ද විතණ්ඩවාදයක් ඇත්තේ ය. නිර්වාණය කියා අමුතු පරමාර්ථ ධර්මයක් ඇත්තේ නැත. ක්ලේශයක්ෂයම නිර්වාණයය යනු විතණ්ඩවාදයි. ඉහත කී අටුවා පාඨයෙන් දැක්වෙන්නේ විතණ්ඩවාදියාගෙන් ප්‍රශ්න අසා එ වාදය බිඳ දැමිය යුතු ආකාරය ය. විතණ්ඩවාදය බිඳ දැමීම සඳහා අටුවාවෙහි දක්වා ඇති කරුණු වරදවා තේරුම් ගෙන ඇතමෙක් නිවනය කියා සූක්‍ෂ්ම රූපයක් හෝ විඤ්ඤාණයක් ඇතය යි ගනිති. එද වැරදි හැඟීමකි. නිවන රූපයක් හෝ විඤ්ඤාණයක් හෝ නො වන බව ඉහත පැහැදිලි කර ඇත්තේ ය.
“ඉදං ඛෝ පන භික්ඛවෙ! දුක්ඛනිරෝධං අරිය සච්චං. යෝ තස්සායේව තණ්හාය අසේසවිරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ.”
තේරුම:-
“මහණෙනි! නැවත ඉපදීම ඇති කරන්නා වූ ඒ තෘෂ්ණාවගේ ලෝකෝත්තර මාර්ගය කරණකොට වන යම් නිරවශේෂ නිරෝධයක් වේ ද, ඒ තෘෂ්ණාව අත හැරීමක් වේ ද ඉවතලීමක් වේ ද, තෘෂ්ණාවෙන් මිදීමක් වේ ද, රූපාදියෙහි නො ඇල්මක් වේ ද, මෙය දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය නම් වන්නේ ය.”
ආර්‍ය්‍ය සත්‍ය දේශනාවෙහි දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය නාමයෙන් දැක්වෙන්නේ ද අසංස්කෘතධාතු සංඛ්‍යාත ලෝකෝත්තර නිර්වාණය ය. දේශනා ඥානයෙහි පාරප්‍රාප්ත වූ තථාගතයන් වහන්සේ එකම කරුණ නානා ක්‍රමවලින් ද, නානා වචනවලින් ද දේශනය කිරීමට සමත්වන සේක. එබැවින් එකම නිර්වාණ ධාතුව ප්‍රතීත්‍ය සමුත්පාද දේශනයේදී අවිද්‍යාදි ද්වාදශාංගයන්ගේ නිරෝධය වශයෙන් වදාළ සේක. ආයතන විභංගයේදී හා අසංඛත සංයුත්තයේ සූත්‍ර බොහෝ ගණනකදී ද, රාග ද්වේෂ මෝහය්නගේ ක්ෂයය නිර්වාණය වශයෙන් වදාළ සේක. ආර්‍ය්‍යසත්‍ය දේශනයේ දී තෘෂ්ණා නිරෝධයාගේ වශයෙන් වදාළ සේක. තවත් සූත්‍රවලදී ද නොයෙක් ආකාරයෙන් නිර්වාණය දක්වා ඇත්තේ ය.
සසර සැරිසරන සත්ත්වයා කොතෙක් වර මළත් තෘෂ්ණාව ඇතිතාක් නැවත නැවතත් උපදනේ ය. ඉපදීම වෙතොත් ජාති ජරා මරණාදි දුඃඛස්කන්ධය ද නැවත නැවත ඇතිවන්නේ ම ය. තෘෂ්ණාව නිරවශේෂයෙන් නිරුද්ධ වුවහොත් නැවත ඉපදීම් වශයෙන් ජාත්‍යාදි දුඃඛස්කන්ධය ඇති නොවේ.
එබැවින් තෘෂ්ණා නිරෝධයට සකල දුඃඛයන්ගේ ම නිරෝධය ඇතුළු වන බව දතයුතු ය. දුඃඛනිරෝධාර්‍ය්‍ය සත්‍ය දේශනයෙහි එන අසේසවිරාග නිරෝධෝ, චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්ති අනාලයෝ යන මේ වචනවලින් එක එකකට ම තෘෂ්ණාව සහිත සකල දුඃඛයන්ගේ ම නිරෝධය ඇතුළත් ය. ඒ සෑම වචනයක් ම තෘෂ්ණා නිරෝධයාගේ වශයෙන් නිර්වාණ ධාතුව දක්වන වචනයෝ ය. ඒ සෑම වචනයක් ම නිර්වාණ නාමයෝ ය. එබැවින් “අසේස විරාග නිරෝධෝ” යනාදි වචනවල අර්ථය තෘෂ්ණාවගේ අභාවය වූ සිස් බව ය යි නොගෙන මතු කිසි කලෙක තෘෂ්ණාව සහිත ලෝක දුඃඛස්කන්ධයාගේ ම අනුත්පත්තියට හේතුවන “අසංඛත ධාතුවය” යි ගත යුතුයි.
නිවන පිහිටි තැන පිළිබඳ ප්‍රශ්නෝත්තර කථාවක් මිළින්දප්‍රශ්නයෙහි එන්නේ ය. ඒ මෙසේය :- ස්වාමීනි, නාගසේනයන් වහන්ස, නැගෙනහිර දිග හෝ දකුණු දිග හෝ බස්නාහිර දිග හෝ උතුරු දිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ නිර්වාණය පිහිටි ප්‍රදේශයක් ඇත්තේදැයි මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් විචාළේ ය.
එකල්හි නාගසේන තෙරුන් වහන්සේ: මහරජ! නැගෙනහිරදිග හෝ දකුණුදිග හෝ බස්නාහිරදිග හෝ උතුරුදිග හෝ උඩ යට හෝ සරස හෝ නිවන පිහිටා ඇති පෙදෙසෙක් නැත ය යි වදාළ සේක.
එකල්හි මිලිඳුරජ කියනුයේ, ස්වාමීනි, නාගසේනයන් වහන්ස! නිවන පිහිටි තැනක් නැතිනම් - නිවනකුත් නැත. යමකු විසින් නිවන සාක්ෂාත් කරන ලද නම් ඔවුන් ගේ ඒ සාක්ෂාත් කරණයද මිථ්‍යාවෙක: වැරදීමෙක. එහි කාරණය කියන්නෙමි. ස්වාමීනි: නාගසේනයන් වහන්ස! යම් සේ පොළොවෙහි ධාන්‍ය උපදනා කෙත් ඇත්තේ ද, සුවඳ ඇතිවන මල් ඇත්තේද, මල් හටගන්නා ගස් ඇත්තේද, ගෙඩි හටගන්නා ගස් ඇත්තේද, රත්න හට ගන්නා ආකර ඇත්තේද, එමෙන්ම නිර්වාණය පිහිටි තැනක්ද තිබිය යුතු ය. ස්වාමීනි: නාගසේනයන් වහන්ස! යම් හෙයකින් නිවන ඇතිවන තැනක් නැත්තේ ද එබැවින් නිවනකුත් නැත ය යි කියමි. යමකු විසින් නිවන සාක්ෂාත් කරන ලද නම් එයත් වැරදීමකැයි කියමියි කීය.
එකල්හි නාගසේන තෙරුන් වහන්සේ - “මහරජ! නිවන පිහිටි තැනක් නම් නැත. එහෙත් නිවන නම් ඇතමය. මනාකොට පිළිපන් තැනැත්තා යෝනිසෝමනස්කාරයෙන් නිර්වාණය සාක්ෂාත් කර ගන්නේ ය. මහරජ! ගින්න නම් ඇත්තේ ය. එහෙත් එය පිහිටි තැනක් නැත්තේ ය. ලී දෙකක් ඇතිල්ලීමෙන් එය ලැබෙන්නේ ය. මහරජ! එපරිද්දෙන් ම නිවන ඇත්තේ ය. එය පිහිටි තැනක් නැත්තේ ය. මනාකොට පිළිපන්නා වූ තැනැත්තේ යෝනිසෝමනස්කාරයෙන් නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය, මහරජ! චක්‍රරත්නය - හස්තිරත්නය - අශ්වරත්නය - මාණික්‍යරත්නය - ස්ත්‍රීරත්නය - ගෘහපතිරත්නය - පරිනායක රත්නය යන සප්තරත්නයෝ ඇත්තාහ. එහෙත් ඒවා පිහිටි ඇති තැනක් නැත. මනාකොට පිළිපන්නා වූ ක්ෂත්‍රියයාහට ප්‍රතිපත්ති බලයෙන් ඒ රත්නයෝ පහළ වන්නාහ. මහරජ! එපරිද්දෙන් නිර්වාණයක් ඇත්තේ ය. එය පිහිටි තැනක් නැත්තේ ය. මනාකොට පිළිපදිනා තැනැත්තේ යෝනිසෝමනස්කාරයෙන් නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය” යි වදාළ සේක.
“ස්වාමීනි: නාගසේනයන් වහන්ස! නිවන පිහිටි තැනක් නැති නම් එසේ වේවා! මනා කොට පිළිපදින්නා වූ යෝගාවචරයා නිර්වාණය සාක්ෂාත් කරන තැනක් හෝ ඇත්තේ ද?
මහරජ! එසේ ය. මනාකොට පිළිපදින යෝගාවචරයා නිවන සාක්ෂාත් කරන තැනක් නම් ඇත්තේ ය.
“ස්වාමීනි: නාගසේනයන් වහන්ස! ඒ කොතැනද?
මහරජ! ඒ තැන නම් ශීලය යි. මහරජ! ශීලයෙහි පිහිටා යෝනිසෝමනස්කාරයෙන් යුක්තවන තැනැත්තේ ස්වකීය යවන දේශයෙහි වුව ද, චීනවිලාත දේශයෙහි වුව ද, අලසන්දා දේශයෙහි වුව ද, නිකුබ්බ දේශයෙහි වුව ද, කාශි කෝශල දේශයන්හි වුව ද, කාශ්මීර දේශයෙහි වුව ද, ගන්ධාර දේශයෙහි වුව ද, මහමෙර මුදුනෙහි වුව ද, බ්‍රහ්මලෝකයෙහි වුව ද කොතැනනක වුව ද නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය.
මහරජ! යම්කිසි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය යවන දේශයෙහි වුව ද, චීනවිලාත දේශයෙහි වුව ද, අලසන්දා දේශයෙහි වුව ද, නිකුම්බ දේශයෙහි වුව ද, කාශිකෝශල දේශයන්හි වුව ද, කාශ්මීර ගන්ධාර දේශයන්හි වුව ද, මහමෙර මුදුනෙහි වුව ද, බ්‍රහ්ම ලෝකයෙහි වුව ද, කොතැනකදී වුව ද, අහස දක්නේ ද, මහරජ! එපරිද්දෙන් ශීලයෙහි සිට යෝනිසෝමනස්කාරය පවත්වන තැනැත්තේ ස්වකීය යවන දේශයෙහි වුව ද, චීනවිලාත දේශයෙහි වුව ද, අලසන්දා දේශයෙහි වුව ද, නිකුම්බ දේශයෙහි වුව ද, කාශි කෝශල දේශයන්හි වුව ද, කාශ්මීර ගන්ධාර දේශයන්හි වුව ද, මහමෙර මුදුනෙහි වුව ද, බ්‍රහ්ම ලෝකයෙහි වුව ද, කොතැනක වුව ද, නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය.
ආයුෂ්මත් නාගසේන ස්ථවිරයන් වහන්සේ ගේ පිළිතුර මිළිඳු මහරජතුමා ස්තුති පූර්වකව ගෞරවයෙන් පිළිගත්තේ ය.
ස්වාමීනි, නාගසේනයන් වහන්ස! සම්‍යක් ප්‍රතිපත්තියෙන් නිවන් පසක් කරන තැනැත්තේ ඉපද ඇති නිර්වාණය ම සාක්ෂාත් කරන්නේ ද? නැතහොත් අමුතුවෙන් නිවන උපදවාගෙන සාක්ෂාත් කරන්නේ දැ යි මිලිඳු රජතුමා ඇසීය.
මහරජ! සම්‍යක් ප්‍රතිපත්තියෙන් නිවන් පසක් කරන තැනැත්තේ ඉපද ඇති නිවනක් පසක් කරන්නේ ද නො වේ. නිවනක් උපදවා ගෙන පසක් කරන්නේ ද නො වේ. මහරජ! එහෙත් සම්‍යක් ප්‍රතිපත්තියෙන් සාක්ෂාත් කරන නිවන නම් ඇත්තේම ය යි නාගසේන ස්ථවිරයන් වහන්සේ වදාළ සේක.
ස්වාමීනි, නාගසේනයන් වහන්ස! මේ ප්‍රශ්නය වැසුණක් කොට නො දක්වනු මැනවි. විවෘත කොට ප්‍රකට කොට දක්වන සේක්වා! නුඹ වහ්නසේ උගෙන ඇති යමක් වේ නම් ඕනෑකමින් උත්සාහයෙන් ඒ සියල්ල මෙහි ම වගුරවනු මැනවි. මේ කාරණයෙහි ජනයෝ මුළා ව ඉන්නාහ. විමති ඇතිව ඉන්නාහ. සැක ඇතිව ඉන්නාහ. මහජනයා ගේ ඒ සැකය නැමති හුල බිඳලුව මැනව.
මහරජ! ශාන්ත වූ සැප වූ ප්‍රණීත වූ ඒ නිර්වාණ ධාතුව ඇත්තේ ම ය. එය මනා කොට පිළිපන් තැනැත්තේ සර්වඥයන් වහන්සේ ගේ අනුශාසනය පරිදි සංස්කාරයන් සම්මර්‍ශනය කිරීමෙන් සාක්ෂාත් කරන්නේ ය. මහරජ! යම් සේ අතවැසියා ආචාර්‍ය්‍යවරයා ගේ අනුශාසනයෙන් විද්‍යාව ප්‍රඥාවෙන් සාක්ෂාත් කෙරේ ද? මහරජ! එපරිද්දෙන් ම මනාකොට පිළිපදින තැනැත්තේ සර්වඥානුශාසනය පරිදි සංස්කාරයන් සම්මර්‍ශනය කිරීමෙන් නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය.
මහරජ! නිවන කෙසේ දතයුතු ද? එය ව්‍යසනයක් නැතියක් සැටියට ද, උපද්‍රව නැතියක් සැටියට ද, බියක් නැති තැනක් සැටියට ද, උවදුරු නො එන තැනක් සැටියට ද, ශාන්ත ස්වභාවයක් සැටියට ද, සුඛ ස්වභාවයක් සැටියට ද, ආශ්වාදයක් මිහිරි දෙයක් සැටියට ද, ප්‍රණීත දෙයක් සැටියට ද, පිරිසිදු දෙයක් සැටියට ද, ශීතල ස්වභාවයක් සැටියට ද දත යුතු ය.
මහරජ! මහ ගින්නකට හසු වී දැවෙමින් සිටියෙක් මහත් වූ උත්සාහයෙන් එයින් මිදී ගිනි නැති තැනකට වැද එහි දී යම් සේ මහත් සුවයක් ලබා ද, එපරිද්දෙන් ම යමෙක් මනාකොට පිළිපන්නේ වේ නම් හෙතෙමේ සම්‍යක් මනස්කාරයෙන් ත්‍රිවිධාග්නි සන්තාපයෙන් මිදීමෙන් පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය. මහරජ! මේ උපමාවෙහි මහා ගිනි ගොඩ මෙන් ත්‍රිවිධාග්නිය දත යුතුය. ගින්නට හසුව උන් තැනැත්තා මෙන් සම්‍යක් ප්‍රතිපත්තියෙහි පිහිටි තැනැත්තා දත යුතු ය. ගින්න නැති තැන මෙන් නිවන දත යුතු ය. මහරජ! යම්සේ මිනී කුණු - බලු කුණු - මල මුත්‍ර රාශියකට හසු වූ පුරුෂයෙක් මහත් වූ උත්සාහයෙන් එයින් මිදී කුණප විරහිත තැනකට පැමිණ එහි පරම සුඛයක් ලබා ද, මහරජ! එපරිද්දෙන් ම මනා කොට පිළිපදින තැනැත්තේ යෝනිසෝමනස්කාරයෙන් ක්ලේශ කුණපයන් නැත්තා වූ පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය. මහරජ! මේ උපමාවෙහි කුණප රාශිය මෙන් පඤ්චකාමය දත යුතු ය. කුණප ගොඩකට හසුව උන් පුරුෂයා මෙන් මනා කොට පිළිපන් පුද්ගලයා දත යුතු ය. කුණපයන් නැති තැන මෙන් නිර්වාණය දත යුතු ය.
මහරජ! යම් සේ බියපත් වූ තැති ගත්තා වූ වෙවුලන්නා වූ අවුල් වූ සිත් ඇත්තා වූ පුරුෂයෙක් උත්සාහයෙන් එයින් මිදී ශක්තිමත් වූ ස්ථිර වූ ආරක්‍ෂා ස්ථානයකට පිවිස පරම සුඛයක් ලබා ද, එපරිද්දෙන් මනාකොට පිළිපදිනා තැනැත්තේ යෝනිසෝමනස්කාරයෙන් භය සන්ත්‍රාස විරහිත පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය. මහරජ! මේ උපමාවෙහි භය මෙන් ජාති ජරා ව්‍යාධි මරණයන් නිසා වරින් වර වන භය දත යුතු ය. බියපත් පුරුෂයා මෙන් මනා කොට පිළිපන් තැනැත්තා දත යුතු ය. අභය ස්ථානය මෙන් නිවන දත යුතු ය.
මහරජ! කුණු මඩගොහොරුවකට වැටී ඉන්නා පුරුෂයෙක් මහත් වූ උත්සාහයෙන් එයින් බැහැර ව පිරිසිදු පෙදෙසකට පැමිණ එහි පරම සුඛයක් යම් සේ ලබා ද, මහරජ! එපරිද්දෙන් ම මනා කොට පිළිපන් තැනැත්තේ යෝනිසෝමනස්කාරයෙන් කෙලෙස් මඩින් තොර වූ පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය. මහරජ! මේ උපමාවෙහි මඩගොහොරුව මෙන් ලාභ සත්කාර කීර්තීන් දත යුතු ය. මඩෙහි එරුණු පුරුෂයා මෙන් මනාකොට පිළිපන් තැනැත්තා දත යුත ුය. පිරිසිදු පෙදෙස මෙන් නිර්වාණය දත යුතු ය. ඒ නිවන මනා කොට පිළිපන් තැනැත්තේ කුමකැයි කියා සාක්ෂාත් කෙරේ ද යත්? ඒ යෝගාවචරයා සංස්කාරයන් ගේ පැවැත්ම සම්මර්ශනය කරයි. පැවැත්ම සිහි කරන්නා වූ ඔහු එහි ජාතිය දකී. ජරාව දකී. ව්‍යාධිය දකී. මරණය දකී. එහි කිසි සැපයක් නො දකී. මුල මැද අග යන තුනෙහි ම එහි කිසි ගතයුත්තක් නො දකී. මහරජ! දවස මුළුල්ලෙහි ම ගින්නෙන් තැවුණු ගිනියම් වූ ලොහොගුලියෙහි මුල මැද අග යන තුන් තැනෙහි ම ඇල්ලිය හැකි තැනක් නො දකී ද, මහරජ! එපරිද්දෙන් ම සංස්කාරයන් ගේ පැවැත්ම සම්මර්ශනය කරන තැනැත්තේ එහි ජාති දකී. ජරාව දකී. ව්‍යාධිය දකී. මරණය දකී. එහි කිසි සුවයක් හොඳක් නො දකී. මුල මැද අග යන තුනෙහි කිසි ගත යුත්තක් නො දකී. ගත යුත්තක් නො දක්නා වූ ඔහු ගේ සිත්හි නො සතුටක් ඇති වේ. ශරීරයෙහි දාහයක් ඇති වේ. කිසි පිහිටක් නො දක්නා වූ ඔහු භවය ගැන කලකිරෙයි.
මහරජ! යම් සේ මහ ගිනි ගොඩකට පිවිසි තැනැත්තා එහි අසරණ වූයේ ගින්න ගැන කලකිරේ ද, එපරිද්දෙන් සංස්කාරයන්හි ගතයුත්තතක් නො දක්නා වූ ඔහුගේ සිත්හි නො සතුටක් පහළ වේ. කයෙහි දාහයක් ඇති වේ. කිසි පිහිටක් නො දක්නා වූ ඔහු භවයෙහි කලකිරෙයි. පැවැත්මෙහි භය දක්නා වූ ඔහුට මේ විද්‍යමාන වූ සංසාර ප්‍රවෘත්තිය ගිනිගෙන ඇතියක. බොහෝ දුක් ඇතියක. බොහෝ සිත්තැවුල් ඇතියක. ඉදින් යම්කිසිවෙක් සංස්කාරයන් ගේ නො පැවැත්මක් ලබානම් ඒ සර්වාසංස්කාරයන් ගේ සන්සිඳීම වූ සකලෝපධීන්ගෙන් මිදීම වූ තෘෂ්ණාක්ෂයය වූ විරාගය වූ නිරෝධය වූ නිර්වාණය ශාන්තය ප්‍රණීතය යන අදහස ඇති වන්නේය. ඔහු ගේ සිත සංස්කාරයන් නො පැවැත්ම වූ නිවනට පැන වදින්නේ ය. මාහට පිහිටක් ලැබුණේය යි ඔහු ගේ සිත සතුටු වන්නේ ය. ඔහු ගේ සිත පැහැදෙන්නේ ය.
මහරජ! යම්සේ විදේශයකට පැමිණ, යාමට මගක් නැතිව දුකට පත්ව ඉන්නා තැනැත්තෙක් එයින් මිදී යාමේ මගක් දැක ඒ මගට බසී ද, මෙය මිදීමේ මග ය යි ඔහු ගේ සිත සතුටු වේ ද, මහරජ! එපරිද්දෙන් ම සංසාර ප්‍රවෘත්තියෙහි භය දක්නා වූ තැනැත්තා ගේ සිත සංස්කාරයන් ගේ අප්‍රවෘත්තියට පැන වදින්නේ ය. පිහිටක් ලැබුණේය යි ඔහුගේ සිත සතුටු වන්නේ ය. පහදින්නේ ය. ඔහු නිර්වාණ මාර්ගය සොයයි. නිවන් ලබනු පිණිස සිහියෙන් යුක්ත වෙයි. වීර්‍ය්‍යයෙන් යුක්ත වෙයි. නිර්වාණය මෙනෙහි කරන්නා වූ ඔහු ගේ සිත සංස්කාර ප්‍රවෘත්තිය ඉක්මවා අප්‍රවෘත්තිය වූ නිවනට බැසගනී. මහරජ! සංස්කාරයන් ගේ අප්‍රවෘත්තිය වූ නිවනට සිතින් පැමිණෙන මනාකොට පිළිපන් තැනැත්තා නිර්වාණය සාක්ෂාත් කෙරේ යයි කියනු ලැබේ.
මිලිඳුරජු තෙමේ සාධුකාරදීමෙන් ආයුෂ්මත් නාගසේන ස්ථවිරයන් වහන්සේ ගේ දේශනය පිළි ගත්තේ ය.
නිවන් පසක් කොට සිට පිරිනිවන් පානා පුද්ගලයා පිරිනිවීමෙන් පසු නැවත ච්‍යුතවීමක් නැතිව නිවනෙහි ම වෙසෙන්නේ ද? පිරිනිවීමෙන් පසු පුද්ගලයා නැත්තට ම නැති වන්නේ ද? යන මේ ප්‍රශ්නය ගැන බුද්ධ කාලයේ දී ම බොහෝ දෙනා කල්පනා කළහ. සාකච්ඡා කළහ. ඇතැම්හු ඒ ගැන බුදුන් වහන්සේ සමග ද සාකච්ඡා කළහ. මෙකල ද ඒ ගැන කල්පනා කරන්නෝ ඇතහ. කථා කරන්නෝ ඇතහ.
පුද්ගල ව්‍යවහාරය කරන්නේ රූප - වේදනා - සඤ්ඤා - සංඛාර - විඤ්ඤාණ යන මේවාට ය. රූපාදිය හැර පුද්ගලයෙක් පිරිනිවන් පෑමෙන් පෙරත් සත්‍ය වශයෙන් නැත්තේ ය. නැත්තා වූ පුද්ගලයා පිරිනිවීමෙන් පසු කොහි ගියේ දැ යි සොයන්නට යාම නිෂ්ඵල ක්‍රියාවෙකි. නිවන පිළිබඳ කථාවට නැත්තා වූ පුද්ගලයකු ඇද දමා ගෙන, සිතීමෙන් - කථා කිරීමෙන් වන්නේ කාරණය අවුල් වීම පමණෙකි. එහෙත් ඒ ගැන සොයන්නවුන් ගේ ප්‍රයෝජනය පිණිස අග්ගිවච්ඡගොත්ත පිරිවැජියාත් බුදුන් වහන්සේත් අතර ඇති වූ සාකච්ඡාවක් මෙහි දක්වනු ලැබේ. ඒ සාකච්ඡාව අග්ගිචච්ඡගොත්ත සුත්ත යන නාමයෙන් මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ දක්නා ලැබේ.
තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙන අවස්ථාවක අග්ගිවච්ඡගොත්ත පරිව්‍රාජකයා බුදුන් වහන්සේ වෙත එළඹ පිළිසඳර කථා කොට එකත්පසෙක හිඳ, පින්වත් ගෞතමයන් වහන්ස! නුඹ වහන්සේ “ආත්මය ශාශ්වතය - සැබෑව මෙයමය, අන්‍යදෘස්ටි බොරුය” යන මේ දෘෂ්ටිය ඇත්තාහු දැයි විචාළේ ය. වච්ඡය! “මම ඒ දෘෂ්ටිය ඇත්තේ නො වෙමි යි” තථාගතයන් වහන්සේ වදාළ සේක.
ඉක්බිති වච්ඡගොත්ත පිරිවැජියා ආත්මය අශාශ්වතය යන දෘෂ්ටිය ගැන ද, ආත්මය අන්තවත්ය යන දෘෂ්ටිය ගැන ද, ආත්මය අනන්තවත්ය යන දෘෂ්ටිය ගැන ද, ආත්මයත් ශරීරයත් එකය යන දෘෂ්ටිය ගැන ද, ආත්මය අනිකෙක, ශරීරය අනිකෙක යන දෘෂ්ටිය ගැන ද, මරණින් මතු ද සත්ත්වයා ඇතය යන දෘෂ්ටිය ගැන ද, මරණින් මතු සත්ත්වයා නැතය යන දෘෂ්ටිය ගැන ද, මරණින් මතු සත්ත්වයා ඇත්තේ ද වේ ය, නැත්තේ ද වේ ය යන දෘෂ්ටිය ගැන ද, මරණින් මතු සත්ත්වයා නැත්තේ ද නැත, ඇත්තේ ද නැත යන දෘෂ්ටිය ගැන ද පිළිවෙළින් තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේය. තථාගතයන් වහන්සේ ඒ එකම දෘෂ්ටියක් වත් තමන් වහන්සේට නැති බව වදාළ සේක.
එකල්හි වච්ඡගොත්ත “පින්වත් ගෞතමයන් වහන්ස! නුඹ වහන්සේ කිනම් වරදක් නිසා ඒ දෘෂ්ටීන්ගෙන් එකකුත් නො ගන්නා සේක් දැ” යි ඇසී ය.
එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් :- වච්ඡය, “ආත්මය ශාශ්වතය යන මෙය දෘෂ්ටියෙක. දෘෂ්ටි ගහනයෙක. දෘෂ්ටි කාන්තාරයෙක. දිට්ඨි විසූකයෙක. දිට්ඨිවිප්ඵන්දිතයෙක. දිට්ඨි සඤ්ඤෝජනයෙක. දුක් ඇතියෙක. පීඩා ඇතියෙක. උපායාස සහිතයෙක. දාහ සහිතයෙක. සසර කලකිරීම පිණිස නො වන්නෙක. සසරට නො ඇලීම පිණිස නො වන්නෙක. වෘත්තයාගේ නිරෝධය පිණිස නො පවත්නෙක. වෘත්තයාගේ සන්සිඳීම පිණිස නො වන්නෙක. නිවන දැනගැනීම පිණිස නො පවත්නෙක. ක්ලේශ නිද්‍රාවෙන් පිබිදීම පිණිස නො පවත්නෙක. නිර්වාණය පිණිස නො පවත්නෙකැ” යි වදාළ සේක. ආත්මය අශාශ්වතය යනාදි දෘෂ්ටි ගැනත් එසේ ම වදාළ සේක.
එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ පින්වත් ගෞතමයන් වහන්සේට යම්කිසි දෘෂ්ටිගතයක් ඇත්තේ දැයි විචාළේ ය. එකල්හි තථාගතයන් වහන්සේ “වච්ඡය! දෘෂ්ටිගතය යන මෙය තථාගතයන් වහන්සේ විසින් බැහැර කරන ලද්දක. මේ රූපය ය, මේ රූපයා ගේ උත්පත්ති හේතුව ය, මේ රූපයාගේ නිරෝධය ය, මේ වේදනාව ය, මේ වේදනාවගේ උත්පත්ති හේතුව ය, මේ වේදනාවගේ නිරෝධය ය, මේ සංඥාව ය, මේ සංඥාවගේ උත්පත්ති හේතුව ය, මේ සංඥාවගේ නිරෝධය ය, මේවා සංස්කාරයෝ ය, මේ සංස්කාරයන්ගේ උත්පත්ති හේතුව ය, මේ සංස්කාරයන්ගේ නිරෝධය ය, මේ විඤ්ඤාණය ය, මේ විඤ්ඤාණයාගේ උත්පත්ති හේතුව ය, මේ විඤ්ඤාණයාගේ නිරෝධය ය යන මෙය තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද්දේ ය. එබැවින් තථාගතයන් වහන්සේ සකල මඤ්ඤිතයන් සකල අහංකාරමමංකාර මානානුසයන් ක්ෂය වීමෙන් නිරුද්ධ වීමෙන් අත් හැරීමෙන් ඉවත් කිරීමෙන් උපාදානයන් කරණ කොට කිසි සංස්කාරයක් නො ගෙන සියල්ලෙන් මිදුණෝය” යි වදාළ සේක.
එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ “පින්වත් ගෞතමයාණෙනි, එසේ සියල්ලෙන් මිදුණා වූ භික්ෂු තමේ මරණින් මතු කොහි උපදීදැ” යි විචාළේ ය. එකල්හි තථාගතයන් වහ්නසේ “උපදීය යන මෙය ඒ විමුක්ත භික්ෂුව සඳහා නො යෙදෙන්නේය” යි වදාළ සේක. “පින්වත් ගෞතමයාණෙනි! එසේ නම් ඒ භික්ෂුව නූපදින්නේදැ” යි වච්ඡගොත්ත විචාළේ ය. “නූපදීය යන්නත් ඒ භික්ෂුව සඳහා නො යෙදෙන්නේය” යි වදාළ සේක. “එසේ නම් ගෞතමයාණෙනි! උපදින්නේත් නූපදින්නේත් වේ දැ” යි වච්ඡගොත්ත කීයේ ය. “ඒ භික්ෂුව සඳහා උපදින්නේත් නූපදින්නේත් වේ ය” යන කීමත් නො යෙදෙන්නේ ය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. එසේ නම් “පින්වත් ගෞතමයාණෙනි! ඒ භික්ෂුව නූපදින්නේත් නො වේ. උපදින්නේත් නො වේ දැ” යි විචාළේය. ඒ භික්ෂුව සඳහා “නූපදින්නේත් නො වේ ය, උපදින්නේත් නො වේ ය” යන්නත් නො යෙදෙන්නේ ය යි තථාගතයන් වහන්සේ වදාළ සේක.
එකල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක කියනුයේ “පින්වත් ගෞතමයන් වහන්ස! පළමු කථාව ඇසීමෙන් මාහට නුඹ වහන්සේ ගැන මඳ පැහැදීමක් ඇති වූයේ ය. විමුක්ති පුද්ගලයා ගැන කළ මේ කථාව ඇසීමෙන් මාගේ ඒ පැහැදීමත් නැති වී ගියේ ය” යි කීයේ ය.
එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක්: “වච්ඡය! මාගේ මේ ධර්මය ගැඹුරු ය, දුර්දශය, දුරනුබෝධය, ශාන්තය, ප්‍රණීතය, අතර්කාවචරය, සූක්‍ෂ්මය, පණ්ඩිත වේදනීයය, අන්‍ය දෘෂ්ටියක් ඇත්තා වූ අන්‍ය ධර්මයක් පිළිගන්නා වූ, අන්‍ය ධර්මයක් කැමති වන්නා වූ, අන්‍ය ධර්මයක යෙදෙන්නා වූ, අන්‍යයකු ගුරු කොට ඇත්තා වූ තට මුළාවීමට මේ ධර්මය ප්‍රමාණවත් ය” යි වදාරා: “වච්ඡය, මම නුඹෙන් ම ප්‍රශ්න කරමි. නුඹට වැටහෙන සැටියට ඒවාට පිළිතුරු දෙව. ‘ඉදින් තාගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලේ නම්, මා ඉදිරියේ ගින්නක් ඇවිලේය’ යි නුඹ දන්නෙහි දැ” යි ඇසූහ.
“පින්වත් ගෞතමයන් වහන්ස! ඉදින් මා ඉදිරියේ ගින්නක් ඇවිලේ නම්, මා ඉදිරියේ මේ ගින්න ඇවිලේ ය යි දනිමි” යි වච්ඡගොත්ත පිරිවැජි කීය.
“වච්ඡය! තා ඉදිරියේ ඇවිලෙන මේ ගින්න කුමක් නිසා කුමක් ඇසුරු කොට ඇවිලේ දැ යි ඇසුව හොත් එයට නුඹ කෙසේ පිළිතුරු දෙන්නෙහිද?”
“පින්වත් ගෞතමයන් වහන්ස! නුඹ ඉදිරියේ ඇවිලෙන මේ ගින්න කුමක් නිසා කුමක් ඇසුරු කොට දැල්වේදැ යි ඇසුව හොත් ‘දර නිසා දර ඇසුරු කොට මේ ගින්න ඇවිලේය’ යි කියමි.”
“වච්ඡය! ඉදින් තා ඉදිරියේ ඇවිලෙන ගින්න නිවී ගිය හොත් එකල්හි ‘මා ඉදිරියේ ඇවිලුණු ගින්න නිවී ගියේය’ යි නුඹ දන්නෙහිද?”
“පින්වත් ගෞතමයන් වහන්ස! ඉදින් මා ඉදිරියේ ඇවිලුණු ගින්න නිවී ගියේ නම් ‘මා ඉදිරියේ ඇවිලුණු ගින්න නිවී ගියේය’ යි මම දනිමි.”
“වච්ඡය ‘ඉදින් තා ඉදිරියේ ඇවිලී නිවුණා වූ ගින්න කොහි ගියේ ද? පෙර දිගට හෝ ගියේ ද? අවර දිගට හෝ ගියේ ද? උතුරට හෝ ගියේ ද? දකුණට හෝ ගියේදැ’ යි විචාළ හොත් එකල්හි නුඹ කෙසේ පිළිතුරු දෙන්නෙහිද?”
“හිතවත් ගෞතමයන් වහන්ස! එසේ ඇසීම නුසුදුසු ය. පින්වත් ගෞතමයන් වහන්ස! දර නිසා ඇවිලුණු ඒ ගින්න තුබූ දර ඉවර වීමෙන් අලුත් දර නො ලැබීමෙන් ආහාරයක් නැතිව නිවුණේය’ යි ම කිය යුතු වන්නේ ය.”
එකල්හි තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක: වච්ඡය! යම් රූපයක් කරණකොට ගෙන උස් තැනැත්තාය මිටි තැනැන්තාය කුඩා තැනැත්තාය මහත් තැනැත්තාය යනාදීන් සත්ත්වයකු ගැන කථා කෙරෙත් ද ඒ රූපය තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද්දේ ය. ඒ රූපයාගේ මුල් සිඳින ලද්දේ ය. ඒ රූපය අග සුන්කළ තල්ගසක් මෙන් කරන ලද්දේ ය. නැවත ඇති නො වන්නක් කරන ලද්දේ ය. මතු නූපදනා ස්වභාවයට පමුණුවන ලද්දේ ය.
වච්ඡය! එබැවින් තථාගත තෙමේ රූපය නිසා කරන ව්‍යවහාරයෙන් මිදුණෙක. මහා සාගරය සේ ගැඹුරු වූවෙක. ප්‍රමාණ කිරීමට දුෂ්කර වූවෙක. බැස ගැනීමට දුෂ්කර වූවෙක. තථාගත තෙමේ මතු උපදී ය යි කීම ද නුසුදුසු ය. නූපදී ය යි කීම ද නුසුදුසු ය. උපදින්නේත් වේ ය, නූපදින්නේත් වේ ය යි කීමට ද නුසුදුසු ය. නූපදින්නේත් නැත, උපදින්නේත් නැත යයි කීමට ද නුසුදුසු ය.
යම් වේදනාවක් කරණ කොට ගෙන සැප විඳින තැනැත්තාය දුක් විඳින තැනැත්තාය කියා සත්ත්ව ව්‍යවහාරය කරනු ලැබේ ද, ඒ වේදනාව තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද්දේ ය.
යම් සංඥාවක් කරණ කොට ගෙන සිංහල දත් තැනැත්තාය, දෙමළ දත් තැනැත්තාය, වෙදකම් දත් තැනැත්තාය, නැකැත් දත් තැනැත්තාය යනාදීන් සත්ත්ව ව්‍යවහාරය කෙරේද: ඒ සංඥාව තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද්දේ ය.
යම් සංස්කාරයක් නිසා ලෝභියාය, නපුරාය, ඊර්‍ෂ්‍යා කාරයාය, කරුණාවන්තයාය, දෙන තැනැත්තාය, මරන තැනැත්තාය යනාදීන් සත්ත්ව ව්‍යවහාරය කෙරේද: ඒ සංස්කාරයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද්දෝ ය.
යම් විඤ්ඤාණයක් කරණ කොට ගෙන බලන තැනැත්තාය, අසන තැනැත්තාය යනාදීන් සත්ත්ව ව්‍යවහාරය කෙරේද: ඒ විඤ්ඤාණය තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද්දේ ය. වච්ඡය! ඒ නිසා තථාගත තෙමේ වේදනාදිය නිසා කරන සත්ත්ව ව්‍යවහාරයෙන් මිදුනෙක. මහා සාගරය සේ ගැඹුරු වූවෙක. ප්‍රමාණ නො කළ හැකි වූවෙක. බැස ගැනීමට දුෂ්කර වූවෙක. ප්‍රමාණ නො කළ හැකි වූවෙක. බැස ගැනීමට දුෂ්කර වූවෙක. එබැවින් තථාගත තෙමේ මතු උපදීය යි කීම ද නුසුදුසු ය. නූපදීය යි කීම ද නුසුදුසු ය. උපදින්නේත් නූපදින්නේත් වේය යි කීම ද නුසුදුසු ය. උපදින්නේත් නැත, නූපදින්නේත් නැතය යි කීම ද නුසුදුසු ය.
බුදුන් වහන්සේ විසින් මෙසේ වදාළ කල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ පැහැදී: පින්වත් ගෞතමයන් වහන්ස! නුඹ වහන්සේ ගේ ධර්මය අතුපතර නැති ව, පොතු නැති ව, ඵලය නැති ව, ශුද්ධ සාරයෙහි ම පිහිටියක. පින්වත් ගෞතමයන් වහන්ස! නුඹ වහන්සේ ගේ ධර්මය ඉතා හොඳ ය. ඉතා හොඳ ය. “අද පටන් මා නුඹ වහන්සේ සරණගිය උපාසකයෙකැ යි දැන ගනු මැනැව” යි සැල කෙළේ ය.
“අවිජ්ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාර නිරොධෝ” යනාදි ප්‍රතිලෝම ප්‍රතීත්‍ය සමුත්පාද දේශනාවෙහි දැක්වෙන නිරෝධයන් අතුරෙන් අවිද්‍යා නිරෝධය ම ප්‍රධාන බව, සංස්කාර විඥානාදි අන්‍ය ප්‍රතීත්‍යසමුත්පාදාංගයන්ගේ නිරෝධය අවිද්‍යා නිරෝධය අනුව සිදුවන බව ඉහත දක්වා ඇත. අවිද්‍යා නිරෝධයෙන් ම සංස්කාරාදීන්ගේ නිරෝධය සිද්ධවන බැවින් ඒවායේ නිරෝධය සඳහා අමුතුවෙන් කළ යුත්තක් නැත. දුඃඛස්කන්ධයෙන් මිදෙනු කැමැතියකු විසින් ඒ සඳහා කළ යුතු එකම දෙය අවිද්‍යාව නැතිකර ගැනීමම ය. අවිද්‍යාව නැති කිරීම සඳහා කළයුතු යමක් වේ නම් ඒ දෙය කිරීම ය.
යම් කිසිවක් නැති කළ හැක්කේ ඒ දෙය නසන ඒ දෙයට විරුද්ධ දෙය ඇති කිරීමෙනි. අඳුරට විරුද්ධ අඳුර නැති කරන එකම දෙය ආලෝකය ය. ආලෝකය නැති කිරීමෙන් මිස අන් කිසිම ක්‍රමයකින් අඳුර නැති කළ නො හැකි ය. එමෙන් අවිද්‍යාවට විරුද්ධ අවිද්‍යාව නැති කරන එකම දෙය විද්‍යාව ය. විද්‍යාව තමාගේ සන්තානයෙහි ඇති කිරීමෙන් මිස අන් කිසිම ක්‍රමයකින් අවිද්‍යාව නැති නො කළ හැකි ය. දන් දීමෙන් හෝ සිල් රැකීමෙන් හෝ විද්‍යාව උපදවන භාවනා හැර, අනික් භාවනාවලින් හෝ අවිද්‍යාව නැති කළ නො හැකි ය.
විද්‍යාව යනු ඥානය ය. දුඃඛ සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාවය, සමුදය සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාවය, නිරෝධ සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාවය, මාර්ග සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාවය කියා අවිද්‍යා සතරක් ඇති බව ඉහත අනුලෝම ප්‍රතීත්‍යසමුත්පාද විස්තරයේ දක්වා ඇත. “දුක්ඛෙ ඤාණං, දුක්ඛ සමුදයෙ ඤාණං, දුක්ඛ නිරොධෙ ඤාණං, දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඤාණං, අයං වුච්චති භික්ඛවේ! විජ්ජා” යන දේශනාවෙන් දැක්වෙන පරිදි දුඃඛ සත්‍යය දක්නා විද්‍යාවය, සමුදය සත්‍යය දක්නා විද්‍යාවය, නිරෝධ සත්‍යය දක්නා විද්‍යාවය, මාර්ග සත්‍යය දක්නා විද්‍යාවය යි විද්‍යා සතරක් ද ඇත්තේ ය.
දුඃඛ සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාව නසන එකම දෙය දුඃඛ සත්‍යය දක්නා විද්‍යාවම ය. සමුදය සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාව නසන එකම දෙය සමුදය සත්‍යය දක්නා විද්‍යාව ය, නිරෝධ සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාව නසන එකම දෙය නිරෝධ සත්‍යය දක්නා විද්‍යාව ය. මාර්ග සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාව නසන එකම දෙය මාර්ග සත්‍යය දක්නා විද්‍යාව ය.
සංසාර දුඃඛය නිවාගනු කැමති සංසාර දුඃඛයෙන් එතරවනු කැමති තැනැත්තා විසින් ඒ සඳහා කළයුතු දෙය ම් සතර වැදෑරුම් වූ විද්‍යාව සම්පාදන කිරීම ය. විද්‍යා සතරෙන් ද ප්‍රධාන, දුඃඛ සත්‍යය දක්නා විද්‍යාව ය. එය සම්පාදනය කර ගත හොත් ඉතිරි ආර්‍ය්‍යසත්‍ය තුන පිළිබඳ විද්‍යා තුන ඉබේම වාගේ ලෙහෙසියෙන් ම ඇති වන්නේ ය.
ආර්‍ය්‍යසත්‍යඥාන සංඛ්‍යාත ආර්‍ය්‍ය විද්‍යාව ඇති කර ගත හැක්කේ දහම් ඇසීමෙන් හා දහම් පොත් කියැවීමෙන් ද ගුරුන් වෙතින් බුදුදහම උගෙනීමෙන් ද ආර්‍ය්‍ය සත්‍යයන් පිළිබඳ සාමාන්‍ය ඥානය ඇති කර ගෙන පසුව ව විදර්ශනා භාවනාවෙහි යෙදීම් වශයෙන් ඒ ඥානය දියුණු කිරීමෙනි. ආර්‍ය්‍ය විද්‍යාව පිළිබඳ අවබෝධයක් ඇති කර ගනු කැමතියන් ගේ ප්‍රයෝජනය පිණිස මෙහි චතුරාර්‍ය්‍ය සත්‍යය විස්තර කළ යුතු ය. එහෙත් ඒ ආර්‍ය්‍ය සත්‍ය විස්තරය අප විසින් කලින් සම්පාදනය කර ඇති “චතුරාර්‍ය්‍ය සත්‍යය” නමැති පොතෙහි ඇති බැවින් මෙහිදී ආර්‍ය්‍ය සත්‍යයන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පමණක් කරනු ලැබේ.
සැබෑ දුකය, දුක් ඇතිවීමේ සැබෑ හේතුව ය, සැබෑ සැපය ය, සැපයට පැමිණීමේ සැබෑ මාර්ගය ය යන මේ කරුණු සතර බුදු සමයේ උගන්වන චතුරාර්‍ය්‍ය සත්‍යය ය.
චතුරාර්‍ය්‍ය සත්‍යය ගැන සොයන තැනැත්තකු විසින් පළමු කොට සැපදුක් දෙක ගැන කල්පනා කළ යුතු ය. එය සත්‍ය සතර පහසුවෙන් කොටින් තේරුම් ගැනීමේ ක්‍රම ය. සැප වශයෙන් සලකන යමක් කිසි කලෙක වෙනසකට නො පැමිණ, සෑම කල්හි ම සැපයක් වශයෙන් ම පවතී නම්, සැබෑ සැපය සැටියට සැලකිය යුත්තේ ඒ සැපය ය. යම් කිසිවක් මඳ කලක් පැවතී නැවතී යේ නම් එය සැපවත් වූවත් සැබෑ සැපයක් සැටියට නො සැලකිය හැකිය. එබඳු සැප අනුන්ගේ තාවකාලික වශයෙන් ගත් දෙයක් වැනි ය. මායාවක් බඳු ය.
තාවකාලික වශයෙන් අනුන්ගෙන් ගත් දෙයින් කෙනෙක් ධනවතකු සැටියට නො කියනු ලැබේ. මක්නිසා ද? අනුන්ගෙන් ගත් දෙය අයිතිකරුට ආපසු දෙන්නට සිදු වී, නැවත නිර්ධනයකු වන බැවිනි. එමෙන් මඳ කලක් පවත්නා සැපයක් ලැබීමෙන් කෙනෙක් සැපවතෙක් නො වේ. මක්නිසා ද? එය මඳ කලකින් ඔහුට අහිමි වන බැවිනි. එබැවින් මඳ කලක් පැවතී නැති වන, පුද්ගලයා සැබෑ සැපවතකු නො කරන, පුද්ගලයා සැපවතෙක් වී යයි කීමට තරම් නො වන සැප එකක්වත්, සැබෑ සැප නො වන බව දත යුතු ය.
කවර සැපයක් වුවත් නැති වේ නම් සැපයේ ඒ නැතිවීම දුකෙකි. සැපයම දුකට පෙරළීමකි. තාවකාලික වූ සෑම සැපයක් ම නැතිවීම් වශයෙන් දුකට පෙරළෙන බැවින් ඒ තාවකාලික සැප එකකුදු සැබෑ සැප නො වේ. සැප ය යි සලකන දෙයක මුල මැද අග යන තුනෙන් කොතැනකට වුව ද දුක මිශ්‍ර වී ඇති නම් ඒ දෙය ද සැබෑ සැපයක් නො වේ. මුල මැද අග යන තුන් තැන ම දුක මිශ්‍ර වී ඇති සැපය ගැන කියනුම කිම?
මේ මිනිස් ලොව මිනිසකු වී ජීවත්වීම සැපයක් වශයෙන් සලකන දෙයකි. සිටුවරයකුව - රජකුව ජීවත් වීම මහ සැපයක් හැටියට සලකනු ලැබේ. මහ සැපයක් කොට සලකන සිටු සැපත - රජ සැපත සැබෑ සැපයක් දැ යි සිතා බලන්න. එය සැබෑ සැපයක් වන්නට නම්, සැම කල්හි ම එසේ ම තිබිය යුතු ය. එය සැම කල්හි ම පවත්නක් නො වේ. මඳ කලකින් මරණයට පැමිණීමේන සිටු කමත් රජ කමත් කෙළවර වන්නේ ය. මරණින් පසු සිටුකමත් රජකමත් ඔහුට නැත. එසේ නැතිවන්නා වූ සැපය සිහිනයක් බඳුය. අනුන්ගෙන් මඳ වේලාවකට ඉල්ලා ගත් දෙයක් බඳුය. ණයට ගත් දෙයක් බඳුය. එබැවින් සිටුකම හෝ රජකම සැබෑ සැපයක් නොවේ.
මිනිස් සැපයට වඩා උසස් කොට සලකන දෙව් සැපයත් ඒ දෙකට ම වඩා උසස් කොට සලකන බඹ සැපයත් කියන ලද සිටු සැපය රජ සැපය සේ ම මරණින් කෙළවර වෙන ඒවා ය. එබැවින් දෙව් සැපයත් සැබෑ සැපයක් නොවේ. බඹ සැපයත් සැබෑ සැපයක් නො වේ. සිටුවරයාත් රජුත් දෙවියාත් බ්‍රහ්මයාත් ඒ තත්ත්ව වලින් පහවීමෙන් පසු, බලු පැටවකුදු විය හැකි ය. බළල් පැටවකුදු විය හැකි ය. වසු පැටවකුදු විය හැකි ය. ඌරු පැටවකුදු විය හැකි ය. කුකුළු පැටවකුදු විය හැකි ය. මැඩි පැටවකුදු විය හැකි ය. මහා ප්‍රේතයකුදු විය හැකි ය. මහා නරකයක නිරිසතකුදු විය හැකි ය. සිටුවරයාත් රජුත් දෙවියාත් බ්‍රහ්මයාත් බලු පැටවකු වූ කල්හි අනික් බලු පැටවුන් සේ ම එකෙකි. සිටුකමවත් රජකමවත් ඒ බලුපැටවාට ගෑවිලාවත් නැත. සිටුකම හෝ රජකම සත්ත්වයා සැබෑවට ම සැපවත් කරන්නක් නම් එය සෑම කල්හිම තිබිය යුතු ය. සෑම කල්හි සත්ත්වයා සැපවත් කරන්නක් නො වන බැවින් ඒ සිටුකමත් රජකමත් සැබෑ සැප නො වේ.
මේ මිනිස් ලොව මිනිසකු උපදින්නේ දුකිනි. උපන්දා පටන් මේ මිනිස් කය නිතරම මැරෙන්න හදන එකකි. මැරෙන්න යන එකකි. නොමැරී පැවැත්වීමට නම් ආහාර පාන වස්ත්‍රාදි ප්‍රත්‍යයෙන් එය නිතර ම ආරක්‍ෂා කළ යුතු ය. ආරක්‍ෂා නො කළ හැකි වූ දිනයේ දී එය මැරෙන්නේ ය. නිරන්තරයෙන් ආහාර පානාදි ප්‍රත්‍යය සපයමින් ආරක්‍ෂා කරන්නට වීමත් මහ දුකෙකි. ආරක්‍ෂා කරන්නට බැරිවී මරණයට පත්වීමත් දුකෙකි. එසේ බලන කල්හි මේ පඤ්චස්කන්ධය මුල මැද අග යන සැම තැනම දුකින් මිශ්‍ර දෙයකි. එබැවින් සැබෑ සැපයක් නො වේ. මනුෂ්‍ය දේව බ්‍රහ්ම යන කාහටත් අයත් වූ මේ පඤ්චස්කන්ධනය රාග ද්වේෂ මෝහ සංඛ්‍යාත කෙළෙස් ගිනිවලින් ද ජාති - ජරා - මරණ - ශෝක - පරිදේව - දුඃඛ - දෝමනස්‍ය - උපායාස සංඛ්‍යාත දුක් ගිනිවලින් ද දැවෙමින් ඇතියකි. ගිනි මැද ගිනිවලින් වෙළී පවත්නා බැවින් මේ පඤ්චස්කන්ධය සැබෑ ම දුකෙකි. සැබෑ දුක පඤ්චස්කන්ධය ම ය.
අවිද්‍යා සංස්කාරාදි දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වූ ශාන්ත ස්වභාවය කොතැනකවත් දුක් මිශ්‍ර වී නැති බැවිනුත් කවර කලෙකවත් නැති නො වන බැවිනුත් එය පසක් කර ගත් තැනැත්තා නැවත කිසි කලෙක දුඃඛිතයකු නො වන බැවිනුත් සැබෑ සැපය ය.
දුක් ඇතිවීමේ සැබෑ හේතුව තණ්හාව ය. තණ්හාවය කියනුයේ ඕනෑ කම ය. මේ සත්ත්වයනට තම තමන්ගේ පඤ්චස්කන්ධය පවත්වා ගැනීමේ මහත් වූ ඕනෑ කමක් අත්තේ ය. ජීවත්වීමේ ආශාවය යි කියනුයේ ද ඒ ඕනෑ කමට හෙවත් තණ්හාවටම ය. සත්ත්වයනට ඇත්තා වූ තණ්හාවලින් සියල්ලට ම ප්‍රධාන වූ ද, සියල්ලට ම බලවත් වූ ද, කවදාවත් නො පිරෙන්නා වූ ද තණ්හාව එය ය. පඤ්චස්කන්ධය නැතිවන්නට යනවා නම් හෙවත් මැරෙන්නට යනවා නම් සත්ත්වයනට මහා භයක් ඇතිවන්නේ ඒ තණ්හාව නිසා ය. මැරෙන්න යනවාය කියා හෝ මරණවාය කියා හෝ කියනවා නම් එයින් ඇතිවන්නා වූ භය තරම් මහත් භයක් අන් කුමකින් වත් සත්ත්වයනට ඇති නො වේ. එය ඉතාම මහත් වන්නේ ජීවත්වීම පිළිබඳ වූ තණ්හාව ඉතා බලවත් නිසා ය.
සත්ත්වයා උපන්දා පටන් ම මැරෙන්න යන්නේ ය. එය පඤ්චස්කන්ධයේ ස්වභාවය ය. ජීවත්වීමේ ආශාව වූ මහා තණ්හාවත් ඒ පඤ්චස්කන්ධයට ම අයත් වූ පඤ්චස්කන්ධයේ ම එක් කොටසක් ව පඤ්චස්කන්ධය හා බැඳී පවත්නා බැවින් ඒ තණ්හාව මැරෙන්න යන පඤ්චස්කන්ධයට මැරෙන්න නො දෙයි. ආහාර පානාදි ප්‍රත්‍යයන් ළඟාකර දෙමින් පඤ්චස්කන්ධයට නැතිවන්නට මැරෙන්නට නො දී පඤ්චස්කන්ධය පවත්වයි. ජීවත්වීමට නිතරම උත්සාහ කරයි. එයින් අලුත් අලුත් වෙමින් පඤ්චස්කන්ධය නො සිඳී පවතී. මැරෙන්නේ ද ජීවත් වීමේ ඕනෑකම ජීවත් වීමේ උත්සාහය තිබියදී ය. එබැවින් සත්ත්වයා මළත් ඉවරයක් වන සැටියට නො මැරෙයි. මැරෙනු සමගම අලුත් පඤ්චස්කන්ධයක් ඇති වෙයි. අලුත් පඤ්චස්කන්ධයක් ඇතිවීමය කියන්නේ නැවත ඉපදීම ය.
කොතෙක් කල් ජීවත් වුවත් ජීවත්වීම ඇති වී ඒ තණ්හාව පිරෙන්නේ නො වේ. අද එක් එක් සත්ත්වයකුට ඒ ජීවත්වීමේ ආශාව යම් පමණකට ඇත්තේ ද කල්ප ලක්‍ෂයක් ඉදිරියට ගිය තැනදීත් ඔහුට ඒ ආශාව අද මෙන් ම ඇත්තේ ය. කල්ප කෝටියක් ගත වූ පසුත් අද මෙන් ම වෙනසක් නැතුව ඒ තණ්හාව ඇත්තේ ය. ජීවත්වීම ඇති වී තණ්හාව සම්පූර්ණවීමක් කවර කලෙක වත් නො වන්නේ ය. තණ්හාව ඇති තාක් පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුක්ඛය පවත්වා ගැනීමට උත්සාහ කරයි. ඒ නිසා ඒ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය නො සිඳී නැවත නැවතත් ඇති වේ. පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය ඉවර වන්නේ නැවත නැවත ඇති නො වන්නේ එය නැවත නැවත ඇති කරන පවත්වන තණ්හාව නැති වුවහොත් ය. තණ්හාව ඇති තාක් දුඃඛස්කන්ධය නැවත නැවත ඇතිවන බැවින් දුඃඛස්කන්ධය ඇති වීමේ සැබෑ හේතුව තණ්හාව බව බුදුන් වහන්සේ වදාළ සේක.
අතීතයෙහි බොහෝ බුදුවරයෝ ඇති වූහ. එබැවින් දැනට ඉන්නා එක් එක් සත්ත්වයකුට අතීතයේ බොහෝ බුදුවරයන් මුණ ගැසෙන්නට ඇතුවාට සැකයක් නැත. බොහෝ බුදුවරයන්ගෙන් බණ අසන්නට ලැබෙන්න ඇතුවාට සැකයක් නැත. බොහෝ බුද්ධ ශ්‍රාවකයන් මුණ ගැසෙන්නට ඇතුවාට සැකයක් නැත. බොහෝ බුද්ධ ශ්‍රාවකයන් ගෙන් බණ අසන්න ලැබෙන්නට ඇතුවාටත් සැකයක් නැත. සත්පුරුෂයන් සේවනය කරන්නට ලැබීමෙන් සද්ධර්මය අසන්නට ලැබීමෙන් දුකින් මිදීමේ කැමැත්ත ඇති වී ඒ සඳහා අතීතයේ නොයෙක් වාරවල ප්‍රතිපත්ති පුරන්න පටන්ගන්න ඇතිවාට ද සැකයක් නැත. එහෙත් බොහෝ සත්ත්වයෝ තවත් තවමත් සසරම ය. කොතෙක් වර ආරම්භ කළත් සම්පූර්‍ණ වන තෙක් දුකින් මිදීමේ ප්‍රතිපත්තිය පුරන්නට ඔවුනට ඉඩක් ලැබී නැත. ඉඩ ලැබී නැත්තේ තණ්හාව එයට බාධා කළ නිසා ය.
දුකින් මිදීමේ ප්‍රතිපත්තිය පිරීමට සිත යොමු කළ ගිහියා “තවම ඕවා කරන්නට ඉඩක් නැත. කුමක් කරන්නටත් ජීවත් වන්නට ඕනෑය, ඒ නිසා රස්සාව නො කර බැරිය, ගේදොර රැකබලා ගන්නේ නැතිව බැරිය, දූ දරුවන් ගේ වැඩ ඉවර නැත, විකල් බොජුනෙන් වැළකී විසීමට තරම් සනීපයක් ශක්තියක් නැත, භාවනාවෙහි යෙදෙන්නට සනීපයක් නැත, ශක්තියක් නැත” යනාදිය සිතමින් කියමින් පසු බසී. ප්‍රතිපත්තියට නො බසී. ප්‍රතිපත්තියට බට තැනැත්තා ද “අසවල් වැඩේ කරන්නට තිබෙනනවාය අසවල් වැඩේ කරන්නට තිබෙනවාය මෙලොව ඉන්නාතාක් ඒ වැඩත් නො කර බැරිය” කියා දුකින් මිදීමේ ප්‍රතිපත්තිය අත පසු කරයි. තණ්හාව විසින් යොදවන වැඩ කරයි.
පැවිද්දා ද “දායකයන් ගේ වැඩ තිබෙනවාය, ගෝලබාලයන් ගේ වැඩ තිබෙනවාය, ලෙඩට ප්‍රතිකාර ගන්නට තිබෙනවාය, විහාර සාදා ගන්න චෛත්‍යය සාදා ගන්න ආවාසය සාදා ගන්න තිබෙනවාය” කියා දුකින් මිදීමේ ප්‍රතිපත්තියට නො බසී. බටුයේ ද ඉහත කී කරුණු ඉදිරිපත් කරගෙන සම්පූර්‍ණ වන පරිදි ඒ ප්‍රතිපත්තිය නුපුරයි. ඒ බාධා සියල්ලම කෙරෙන්නේ තණ්හාවෙනි. තණ්හාව ප්‍රතිපත්තියට බැසගන්නට නො දී නවත්වයි. බට තැනැත්තා ප්‍රතිපත්තියෙන් පහකර දමයි. දුකින් මිදීමේ ප්‍රතිපත්තියට බැසීම වළක්වන නිසා ද, බැසගත් තැනැත්තා එයින් පහකර දමන නිසාද තණ්හාව ම දුක් ඇති කිරීමේ දුක පැවැත්වීමේ සැබෑ හේතුව බව දත යුතු ය.
සැබෑ සැපයට පැමිණීම, දුක් නැවත නැවත උපදවන තණ්හාව නැති වීමෙන් ම සිදු වන්නකි. එබැවින් යමක් කිරීමෙන් තණ්හාව නැති වේ නම් ඒ දෙය කිරීම සැපයට පැමිණීමේ සැබෑ මාර්ගය ය. සමහරු ‘දීම තණ්හාව නැති කිරීමේ උපාය’ සැටියට සලකති. එහි ද එක්තරා සත්‍යයක් තිබේ. දුන් වස්තුව පිළිබඳ වූ තණ්හාව එයින් නැති වේ. එහෙත් නැවත රැස් කිරීමේ තණ්හාව එයින් නැති නො වේ. සමහර විට වස්තු රැස් කිරීමේ තණ්හාව දෟීමෙන් තවත් වැඩි වේ. දෙන තැනැත්තේ තමා ගේ පරිභෝගයටත් දීමටත් දෙකටම වඩ වඩා වස්තු සොයන බව පෙනේ. එයින් කිය යුත්තේ දීමෙන් ඒ තැනැත්තාගේ තණ්හාව තවත් වැඩි වූ බව ය.
දීමෙන් තණ්හාව අඩු වුවත් ඒ වස්තු තණ්හාව අඩු වීමෙන් හෝ නැති වීමෙන් හෝ නිවනට පැමිණෙන්නේ නො වේ. නැවත නැවත පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය ඇති කරන්නේ ආත්ම වශයෙන් සලකන පඤ්චස්කන්ධය පිළිබඳ වූ තණ්හාව ය, බාහිර වස්තු දන් දීමෙන් පඤ්චස්කන්ධය පිළිබඳ තණ්හාව නැති වන්නේ නො වේ. සැබෑ සැපය වූ නිවනට පැමිණීමේ මාර්ගය වන්නේ පඤ්චස්කන්ධය පිළිබඳ වූ තණ්හාව නැති කිරීමේ ප්‍රතිපත්තිය ය.
ඇත්ත වශයෙන් කියත හොත් මේ පඤ්චස්කන්ධය ඇලුම් කළ යුත්තක් නොව බිය විය යුත්තකි. දුක්ය කියා යමක් ඇති නම් ඒ සියල්ල ම ඇති වන්නේ මේ පඤ්චස්කන්ධයෙහි ය. බියවිය යුතු පඤ්චස්කන්ධය ගැන තණ්හාවක් ඇති වන්නේ එහි සැබෑ තත්ත්වය නො වැටහීම නිසා ය, පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය හරියට පෙනුන හොත් එය එකෙණෙහි ම එපා වේ. තණ්හාව නිරුද්ධ වේ. මතු ඇති නො වේ.
එක්තරා පුරුෂයකුට ලස්සන තරුණ බිරියක් සිටී. ඈ ප්‍රිය කථාවෙන් ද වැළඳ ගැනීම් ආදියෙන් ද නිතර ඒ පුරුෂයා සන්තෝෂ කරවන්නී ය. එහෙත් ඈ ඒ පුරුෂයා ගේ සැතිරියකි. ඈ අන් හිමියකු පතමින් ඉඩක් ලද විටෙක මේ පුරුෂයා මරා දමා ඔහුගේ ධනය හිමි කරගන්නා බලාපොරොත්තුවෙන් හිමියා සතුටු කරවන තැනැත්තියකි. ඒ බව නො දත් පුරුෂයා ඒ ස්ත්‍රියට තදින් ඇලුම් කරයි. ඇය කියන සෑම දෙයක් ම කෙසේ හෝ සපයා දෙයි. දාසයකු සේ ඇගේ මෙහෙවර කරයි. මහත් ආදරයෙන් පෝෂණය කරන ඒ ස්ත්‍රිය ගේ සැබෑ තත්ත්වය යම් කිසි දිනක ඒ පුරුෂයා තේරුම් ගත හොත් එදා ඒ ස්ත්‍රිය ගැන තුබූ ආදරය කෙළවර වෙයි. එතැන් පටන් පුරුෂයා සොයන්නේ ඒ ස්ත්‍රිය හැර දැමීමට ඒ ස්ත්‍රිය ගෙන් වෙන් වීමට මගකි.
තමා මරා දැමීමට අවස්ථාවක් සොයමින් උපායක් සොයමින් සිටින බිරියට ඇගේ සැබෑ තත්ත්වය නො දන්නා නිසා ඇලුම් කරන සැමියා මෙන්, මේ සත්ත්වයෝ සැබෑ තත්ත්වය නො දන්නා නිසා වධක පඤ්චස්කන්ධය උසස් කොට සලකා එයට ඇලුම් කරමින් එය පවත්වා ගැනීමට සැම උත්සාහයක් කරමින් හැසිරෙති. සතුරු බිරියගේ සැබෑ තත්ත්වය තේරුම් ගත් කල්හි ඒ ස්ත්‍රිය ගැන පුරුෂයා ගේ තුබූ මෝඩ ආලය සම්පූර්ණයෙන් ම නැති වන්නාක් මෙන් පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය දුටු කල්හි එය කෙරෙහි පවත්නා තෘෂ්ණාව නිරුද්ධ වේ.
තණ්හාව නැති කිරීම හැර මේ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛයෙන් මිදී සැබෑ සැපයට පැමිණීමේ අන් ක්‍රමයක් නැත්තේ ය. එබැවින් තණ්හාව නැති කිරීමේ ප්‍රතිපත්තිය ම සැපයට පැමිණීමේ සැබෑ මාර්ගය ය යි කියනු ලැබේ. ප්‍රතීත්‍යසමුත්පාද දේශනය අනුව කථාකරන කල්හි අවිද්‍යාව නැති කිරීම සඳහා පිරිය යුතු ප්‍රතිපත්තිය සැපයට පැමිණීමේ සැබෑ මාර්ගය සැටියටත්, ආර්‍ය්‍යසත්‍ය දේශනය අනුව කථා කරන කල්හි තණ්හාව නැති කිරීම සඳහා පැවැත්විය යුතු ප්‍රතිපත්තිය සැපයට පැමිණීමේ සත්‍ය මාර්ගය සැටියටත් කියනු ලැබේ.
එයින් සැපයට පැමිණීමේ සත්‍ය මාර්ග දෙකක් ඇතය යි වරදවා නො ගත යුතු ය. අවිද්‍යාව නැති කරන්නට පිරිය යුත්තේ ද, තණ්හාව නැති කරන්නට පිරිය යුත්තේ ද, එකම ප්‍රතිපත්ති ක්‍රමයකි. එබැවින් සැපයට පැමිණීමේ සත්‍ය මාර්ගය එකක් ම බව දත යුතු ය. ඒ ප්‍රතිපත්තියෙන් අවිද්‍යා තෘෂ්ණා දෙක්හි ම නිරෝධය වේ. මේ සංක්ෂේපයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය තේරුම් ගත යුතු ආකාරය ය.
අවිද්‍යාව නසා සංසාර චක්‍රයෙන් මිදී නිවන් සුවය ලබනු කැමැති තැනැත්තා විසින් කියන ලද පරිදි චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ සාමාන්‍ය දැනුමක් හා පඤ්චස්කන්ධයට අයත් නාම රූපයන් පිළිබඳ සාමාන්‍ය දැනුමක් ද ඇති කරගෙන චතුස්සත්‍යයන් දැකිය හැකි වන විද්‍යා සතර උපදවා ගැනීමට භාවනා කළ යුතු ය. විද්‍යාව සම්පූර්ණ කර ගත හැක්කේ විදර්ශනා භාවනාවෙනි. විදර්ශනාව පැවැත්විය යුත්තේ දුඃඛ සත්‍යයට අයත් ධර්ම විෂයෙහි ය. එය කරන තැනැත්තා විසින් අනිත්‍ය විද්‍යාවය, දුඃඛ විද්‍යාවය, අනාත්ම විද්‍යාවය, ශ්‍රෝතාපත්ති මාර්ග විද්‍යාවය, සකෘදාගාමි මාර්ග විද්‍යාවය, අනාගාමි මාර්ග විද්‍යාවය, අර්හත් මාර්ග විද්‍යාවය යන මේවා පිළිවෙළින් සම්පාදනය කෙරෙමින් මතු කවර කලෙකවත් ඇති නො වන පරිදි අවිද්‍යාව දුරු කිරීමට සමත් ආර්‍ය්‍ය විද්‍යාව සම්පූර්ණ කර ගත යුතු ය.
විද්‍යාව ඇතිකර ගැනීමේ ප්‍රතිපත්ති ක්‍රමය අප විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය නමැති පොතෙහි හා සතිපට්ඨාන භාවනා ක්‍රමය නමැති පොතෙහි විස්තර කර ඇත්තේ ය. ඒ පොත් දෙකෙහි ඇත්තේ එකිනෙකට වෙනස් භාවනා ක්‍රම දෙකකි. ඉක්මනින් විද්‍යාව ඇතිකර ගනු කැමති වීර්‍ය්‍යවත් පුද්ගලයන්ට සතිපට්ඨාන භාවනා ක්‍රමය නමැති පොතෙහි දැක්වෙන භාවනා ක්‍රමය හොඳ ය. මෙලොවදී ම විද්‍යාව පහළ වන සැටියට ඒ භාවනාව කරතහොත් කළ යුත්තේ සති ගණනක් හෝ මාස ගණනක් හෝ ඒ සඳහා වෙන් කරගෙන ඒ වෙන් කරගත් සම්පූර්ණ කාලයෙහි ම අනිකක් නො කොට භාවනාවෙහි යෙදීමෙනි.
අවකාශ ඇති ඇති සැටියට සෙමින් භාවනාවෙහි යෙදෙනු කැමතියන්ට විදර්ශනා භාවනා ක්‍රමය නමැති පොතේ දැක්වෙන භාවනා ක්‍රමය යෝග්‍ය ය. ඒ පොත් දෙක මෙහි සඳහන් කළ නුමුත් භාවනා ක්‍රම දක්වා ඇත්තේ ඒ පොත් දෙක්හි පමණක් නොවේ. තවත් නොයෙක් පොත්වල නොයෙක් ආචාර්‍ය්‍ය පරම්පරාවල බොහෝ භාවනා ක්‍රම ඇත්තේ ය. කැමති භාවනාවක් පුරුදු කළ යුතු ය.
අවිද්‍යාන්ධකාරය දුරුකිරීමට සමත් වන ආර්‍ය්‍ය විද්‍යාලෝකය උපදවා ගත හැක්කේ බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පවත්නා කාලයේ දී පමණෙකි. මේ බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පවත්නා කාලයෙකි. එබැවින් ආර්‍ය්‍ය විද්‍යාව නමැති ආලෝකය උපදවාගෙන අවිද්‍යාන්ධකාරය දුරුකර සංසාර දුක්ඛයෙන් මිදීමට උත්සාහ කිරීමට මේ ඉතාම සුදුසු කාලය ය. උත්සාහ කළත් මේ කාලයේදී මගපලවලට නො පැමිණිය හැකි ය යි ඇතැම්හු කියතත් එබන්දක් බුදුන් වහන්සේ විසින් වදාරා නැත. ඉමේ ච සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ස” යනුවෙන් මහා පරිනිර්වාණ සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත්තේ මේ භික්ෂූහු මනාකොට වාසය කරන්නාහු නම් ලොව රහතුන්ගෙන් සිස් වන්නේ නැතය කියා ය. කොතෙක් උත්සාහ කළත් වර්තමාන ජාතියේදී මාර්ගඵලවලට පැමිණිය නොහෙන අභව්‍ය පුද්ගලයෝ ද ඇතහ.
“තිරච්ඡානගතස්ස මහාරාජ! සුපටිපන්නස්සාපි ධම්මාභිසමයො න හොති, පෙත්තිවිසයූපපන්නස්ස මිච්ඡාදිට්ඨිකස්ස කුහකස්ස මාතුඝාතකස්ස පිතුඝාතකස්ස අරහන්තඝාතකස්ස සංඝභේදකස්ස ලෝහිතුප්පාදකස්ස ථෙය්‍යසංවාසකස්ස තිත්තියපක්කන්තස්ස භික්ඛුනී දූසකස්ස තෙරසන්නං ගරුකාපත්තිනං අඤ්ඤතරං ආපජ්ජිත්වා අවුට්ඨිතස්ස පණ්ඩකස්ස උභතොබ්‍යඤ්ජනකස්ස සුපටිපන්නස්සාපි ධම්මාභිසමයෝ න හෝති. යෝපි මනුස්සදහරකෝ ඌනකසත්තවස්සිකෝ තස්ස සුපටිපන්නස්සාපි ධම්මාභිසමයෝ න හෝති. ඉමේසං ඛෝ මහාරාජ! සෝළසන්නං පුග්ගලානං සුපටිපන්නානම්පි ධම්මාභිසමයෝ න හෝති”
යනුවෙන් නාගසේන මහරහතන් වහන්සේ විසින් වදාළ පුද්ගලයන් සොළොස් දෙනා හැර සෙස්සන්ට බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය උගෙන ඒ ධර්මයේ සැටියට ආර්‍ය්‍යවිද්‍යා සංඛ්‍යාත ලෝකෝත්තර මාර්ග ඥානය වර්තමාන භවයේදී උපදවන්නට බැරිය කියා නියමයක් නැත. මගපල ලබා අවිද්‍යාව දුරුකරගත හැකිවීමට ප්‍රමාණවත් උත්සාහයකින් ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදුනහොත් කාහට වුවත් මේ ජාතියේදී උසස් තත්ත්වයකට පැමිණිය හැකි නො වේය යි නො කිය හැකි ය. එක ජාතියකදී කරන උත්සාහයෙන් භාවනාව සම්පූර්ණ වී ධර්මාභිසමය නුවුවහොත් ඒ තැනැත්තාට ඒ කුශලයෙන් දෙවන ජාතියේ දෙව්ලොව ඉපද එහිදී මගපල ලබා නිවන් දැකිය හැකි වන බව තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා තිබේ.
“ඉධ භික්ඛවෙ! භික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං, තස්ස තේ ධම්මා සෝතානුගතා හොන්ති වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා සෝ මුට්ඨස්සති කාලං කුරුමානෝ අඤ්ඤතරං දේවනිකායං උපපජ්ජති. තත්ථ තත්ථ සුඛිනො ධම්මපදා ප්ලවන්ති. දන්ධෝ භික්ඛවේ! සතුප්පාදො. අථ සො සත්තෝ ඛිප්පමේව විසේසභාගි හෝති.”
“මහණෙනි! මේ සස්නෙහි මහණ තෙමේ සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භුතධම්ම වේදල්ල යන කොටස් නවයට අයත් බුද්ධ ධර්මය පුහුණු කෙරේ ද ඒ ධර්මයෝ ඒ භික්ඛුව ගේ කනට වැටුණාහු වෙත් ද, සජ්ඣායනා කිරීම් වශයෙන් වචනයෙන් පුරුදු කරන ලද්දාහු වෙත් ද, සිතින් නැවත නැවත සිහි කරන ලද්දාහු වෙත් ද, අර්ථ වශයෙන් කාරණා වශයෙන් නුවණින් මනා කොට තේරුම් ගන්නා ලද්දාහු වෙත් ද, ඒ භික්ෂු තෙමේ සිහි මුළාවෙන් පෘථග්ජන කාලක්‍රියාවෙන් කාලක්‍රියා කෙළේ නම් එක්තරා දේවනිකායක උපදින්නේ ය. එහි සුවපත් වූ ඔහුට තමා අතීත භවයේ පුහුණුකළ ධර්මයෝ වැටහෙත්. මහණෙනි! ඔහුට බුද්ධ ධර්මය මතක් වීමට කල් පසු වේ. මතක් වූ කල්හි ඒ සත්ත්ව තෙමේ වහා (මගපල ලබා) නිවනට යන්නේ වේ ය” යනු එහි තේරුම ය.
ඒ සූත්‍ර පාඨයෙන් දැක්වෙන්නේ මේ කාලයේ දී මිනිස් ලොව බුදු දහම උගෙන භාවනාවෙහි යෙදීම් වශයෙන් ඒ ධර්‍මය අනුව පිළිපදින තැන