පාරමිතා ප්‍ර‍කරණය
රේරුකානේ චන්දවිමල හිමි
පටුන
පටුන

පාරමිතා ප්‍ර‍කරණය

(එකොලොස් වන මුද්‍ර‍ණය)

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.

2550/2006

සංඥාපනය

සම්‍යක් සම්බෝධිය ය, ප්‍රත්‍යේක සම්බෝධිය ය, ශ්‍රාවක බෝධිය ය යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට නො පැමිණ කිසිවකුට සසර දුකින් මිදී නිවනට නො පැමිණිය හැකි ය. ඒ ඒ බෝධියට පැමිණීමට පිරිය යුතු පාරමිතාවන් සම්පූර්ණ නො කොට කිසිවකුට බෝධිත්‍රයෙන් එකකට වත් නො පැමිණිය හැකි ය.

මෙ කල ලෝකයේ රහතන් වහන්සේලා ඇත් ද? නැත් ද? මෙ කල රහත් විය හැකි ද? නො හැකි ද? යන මේවා අද ලෝකයේ බොහෝ දෙනකුන් අතර පවත්නා ප්‍රශ්නයෝ ය. රහත් වීමේ මග දක්වන්නා වු තථාගතයන් වහන්සේ ගේ ධර්මය ලොව නිර්මලව පවත්නා තාක් ලෝකයෙහි රහත්හු නැත යයි ද, රහන් නො විය හැකි යයිද, නො කිය හැකි ය. මෙ කල පෙර සේ රහතුන් සුලභ නැති බව පමණක් කිය හැකි ය. රහත්හු තමන් ගේ රහත් බව ලොවට පෙන්වමින් කියමින් ඇවිදින්නෝ නො වෙති. දුටු විට රහත් බව දැන ගැනීමට ලකුණක් ද රහතුන් කෙරෙහි නැත. එබැවින් රහත් කෙනකුන් දුටුවත් හැඳින ගත නො හැකි ය.

කොළඹට යනු කැමතියකු කොළඹට වැටී ඇති මඟකට බැස, කොළඹ බලා ඒ මඟ ගමන් කොට අවසන් කළ හොත් අවසන් කළ දිනය කවර දිනයක් හෝ වේවා, එදින හේ කොළඹ ය. කාලයෙන් එයට බාධාවක් නැත. එමෙන් රහත් වීමට පිරිය යුතු ප්‍රතිපත්ති පුරා අවසන් කළ හොත් දිනය කවදා හෝ වේවා ඒ තැනැත්තා අර්හත්වයේ ය. රහත් වීමේ ප්‍රතිපත්තිය පුරා අවසන් කළත් සමහර කලෙකදී රහත් බවට නො පැමිණිය හැකිය” යි කීම යුක්ති යුක්ත නො වන කථාවෙකි. එසේ කීම තථාගතයන් වහන්සේ ගේ ධර්මයත්, ශාසනික ප්‍රතිපත්තියත් කලකට අවලංගු කිරීමෙකි.

රහත් වීමට උත්සාහ කරන පින්වතුන් ගෙන් ඇතැමෙක් සංක්ෂේප ධර්ම දේශනයක් ඇසීමෙන් ම ද රහත් වෙති. ඇතැමෙක් විස්තර ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමෙන් රහත් වෙති. ඇතැමෙක් පැවිදිවීමට හිස කේ කපන අතරේ දී රහත් වෙති. ඇත්මෙක් පැවිදිව දින ගණනින් රහත් වෙති. ඇතැමෙක් මාස ගණනක් උත්සාහ කිරීමෙන් රහත් වෙති. ඇතැමෙක් වර්ෂ ගණනක් උත්සාහ කිරීමෙන් රහත් වෙති. ඇතැමෙක් මුලු ජීවිත කාලයේ ම දුක් ගෙන ද රහත් නො වෙති.

රහත් වීම පිළිබඳ වූ මේ වෙනසින් තේරුම් ගත යුත්තේ රහත් වීමට වර්තමාන භවයේ පවත්වන ප්‍රතිපත්තිය පමණක් නොව, අතීත භවයන්හි පුරන ලද පාරමිතාවකුත් උවමනා බවය. අතීත භව වලදී රහත් වීමට නිසි පාරමිතා බොහෝ දුරට සම්පූර්ණ කර ගෙන සිටියෝ, ඉතා පහසුවෙන් එක් ගාථාවක් ඇසීම පමණිනුත් රහත් බවට පැමිණෙති. වර්තමාන භවයේ දී රහත් වීමට ප්‍රමාණ වන අතීත පාරමිතාව නැතියෝ කොතෙක් උත්සාහ කළාහු ද ඒ ජාතියේ දී රහත් නො වෙති. එය නො මේරූ බීජයක් රෝපනය කොට, කොතෙක් දිය ඉස්සත් කොතෙක් පෝර කළත් පැළයක් ඇති නො වීම මෙන් දත යුතු ය.

බුදුවරයන් වහන්සේ කෙනකුන් ලොව පහළ වූ කල්හි රහත් වීමට තරමට පාරමිතාව සම්පූර්ණ කර ඇති පින්වත්හු උන් වහන්සේ ගෙන් දහම් ඇසීමෙන් ද, බුදු සස්නෙහි පැවිදි ව පිළිවෙත් පිරීමෙන් ද රහත්ව නිවන් දකිති. පාරමිතා සම්පූර්ණ කර ගෙන වෙසෙන අය අනුක්‍රමයෙන් රහත්වීමෙන් බුදු සස්න පරණ වත් වත් ම රහත් වන්නෝ අඩු වෙති. මේ බුදු සස්නෙහි රහත් වන්නවුන්ගේ සංඛ්‍යාව අඩු වන්නට පටන් ගත්තේ මෑතක දී නොව බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී ම ය. ඒ බව කස්සප සංයුත්තයෙන් හා භද්දාලි සූත්‍රයෙන් ද දත හැකි ය.

කො නු ඛො භන්තේ! හෙතු කො පච්චයො යෙන පුබ්බේ අප්පතරානි චෙව සික්ඛාපදානි අහෙසුං බහුතරා ච භික්ඛු අඤ්ඤාය සණ්ඨහිංසු කො පන භන්තෙ! හේතු කො පච්චයො යෙනෙතරහි බහුතරානි චෙව සික්ඛාපදානි අප්පතරා ච භික්ඛු අඤ්ඤාය සන්ඨහන්ති?

මේ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් බුදුන් වහන්සේ ගෙන් විචාළ ප්‍රශ්නයෙකි. මේ ප්‍රශ්නය ම භද්දාලි තෙරුන් වහන්සේ ගෙන් ඇසූ බව මජ්ක්‍ධිම නිකායේ භද්දාලි සූත්‍රයේ දැක්වේ.

“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! පෙර සික පද තුබුයේ ටිකකි. එහෙත් බොහෝ භික්ෂූහු රහත් වූහ. දැන් බොහෝ සික පද ඇත්තේ ය. එහෙත් අලුතෙන් රහත් වන්නේ ටික දෙනෙකි. එයට හේතුව කවරේ ද?” යනු මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ප්‍රශ්නය ය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ දී ම අලුතෙන් රහත් වන සංඛ්‍යාව අඩු වූ බව මේ ප්‍රශ්නයෙන් පෙනේ. සිකපද වැඩිවීමෙන් වන්නේ භික්ෂූන්ගේ ප්‍රතිපත්තිය අඩුවීම නො ව වැඩි වීම ය. ප්‍රතිපත්තිය වැඩි වී තිබිය දී රහත් වීම අඩු වී යාමෙන් එයට වර්තමාන ප්‍රතිපත්තිය හැර තවත් දෙයක් උවමනා බව තේරුම් ගත හැකි ය. ඒ උවමනා දෙය නම් අතීත භව වලදී පිරූ පාරමිතාව ය.

රහත් වන සංඛ්‍යාව මෙසේ බුද්ධ කාලයේ දී ම අඩු වූයේ පෙරුම් දහම් සම්පූර්ණ කරගෙන සිටිය අය ක්‍රමයෙන් රහත් වී අවසන් වීමෙනි. මේ බුදුසසුන දැන් බොහෝ පැරණි ය. මේ සස්න ඇති වූ මුල් කාලයේ දී ම එක් එක් කෙනා බැගින් ද, සමූහ සමූහ වශයෙන් ද, රහත් වීමට හේතු සම්පත් ඇත්තෝ රහත්ව නිවන් දුටහ. හේතු සම්පත් ඇති අයගෙන් දැනට ඉතිරි වී ඇත්නම් ඇත්තේ ඉතා ටික දෙනෙක් ය. ලෝකයෙහි නව රහතුන් දුලබ වීමේත් රහත්වන්නවුන් දුලබ වීමේත් හේතුව එය ය.

මේ භවයේදී උත්සාහ කළ හොත් රහත් වීමට තරම් අතීත පාරමිතාව ඇත්තෝ දැනුදු නැත යයි නො කිය යුතු ය. බොහෝ සෙයින් අර්හත්වය සඳහා වෙර වඩන්නට - දුක් ගන්නට සිත් වන්නේ තරමක් වත් අතීත පාරමිතාව ඇති සත්පුරුෂයන්ට ය.

මේ ජාතියේ රහත් වුවත් නොවූවත් රහත් වනු පිණිස වෑයම් කරන පින්වත්හු දැනුදු නැත්තාහු නො වෙති. ඔවුනතර මේ ජාතියේ දී ම රහත්වීමට තරම් හේතු සම්පත් ඇත්තෝ වෙත් නම්, ඔවුහු ක්‍රමානුකුලව භාවනාවෙහි යෙදෙන්නාහු වෙත් නම්. ඒ පින්වත්හු සව් කෙලෙසුන් නසා මේ ජාතියේදී ම රහත් ව නිවන් දක්නාහ. එසේ උත්සාහ කරන පින්වතුන්ට මේ ජාතියේදී රහත් වන්නට නුපුළුවන් වුයේ ද, ඒ උත්සාහය නිෂ්ඵල නො වන්නේ ය. එය පසු ජාතියක දී අර්හත්වය ලැබීමේ පාරමිතාව වන්නේ ය.

රහත් වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින් අනාගත භවයන් ගැන, අනාගත බුදු සස්නක් ගැන බලාපොරොත්තු නොවී, මේ ජාතියේ දී ම රහත්වීමේ බලාපොරොත්තුවෙන් උත්සාහ කළ යුතු ය. පැළවීමට සෑහෙන තරමට මෝරා ඇති බීජය වුව ද ජලය නො ලද හොත් නො පැළ වී දිරා යන්නාක් මෙන් මේ ජාතියේ දී උත්සාහ කළ හොත් රහත් වීමට සෑහෙන පමණට අතීත පාරමිතාව ඇත්තෝ ද උත්සාහ නො කිරීම නිසා රහත් නො වෙති.

වර්තමාන භවයේ දී රහත් වීමට උත්සාහ කිරීමට චිත්ත ශක්තියක් නැති, අනාගතයේදී රහත් වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින් ද කවදා හෝ එය සිදු කර ගත හැකි වනු සඳහා ඒ බෝධියට නිසි පාරමිතා කුශල් කළ යුතු ය. එය කළ හැකි වීමට පාරමිතා පිළිබඳ දැනුම ඇති කර ගත යුතුය. මේ පොත කියවීමෙන් පාරමිතා ගැන පිරිසිදු දැනීමක් ඇතිකර ගත හැකි ය.

පාරමිතාවන් විස්තර කර ඇති සිංහල පොත් බොහෝ ඇත්තේ ය. එහෙත් ඒවා සම්පාදනය කර තිබෙන්නේ සම්‍යක් සම්බෝධි පාරමිතාව විස්තර කිරීම් වශයෙනි. සම්‍යක් සම්බෝධි පාරමිතාව සම්පූර්ණ කර බුදු වීමට සමත් අය ලෝකයෙහි සුලභ නැත. බොහෝ දෙනකුන් නිවන් දකින්නේ ද, නිවන් දක්නට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රාවක බෝධියෙනි. එබැවින් බෝධිත්‍රය පිළිබඳ වූ ම පාරමිතාව විස්තර කිරීම් වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කෙළෙමු.

මෙය සම්පාදනය කිරීමේ දී කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි කරුණු විස්තර කිරීමට ද අපි හැකි පමණ උත්සාහ ගතිමු. අන් පාරමිතා පොත්වල ඇති, පාඨකයන්ගේ වෙහෙසට හේතු වන, වඩා ප්‍රයෝජනයක් නැති කරුණු මෙයට ඇතුළු නො කෙළෙමු. පොත මහත් කිරීමට නිෂ්ඵල දේ මෙයට ඇතුළු කොට ද නැත. අප නිතර ම උත්සාහ ගත්තේ පොත හැකිතාක් කුඩා කිරීමට ය. මෙහි තැනින් තැන ඉතා ප්‍රයෝජනවත් ධර්ම විනිශ්චයන් ඇත්තේ ය. මෛත්‍රී පාරමිතා කථාවේ දැක්වෙන මෛත්‍රී භාවනා විස්තරය ඉන් එකකි.

මෛත්‍රී භාවනාව කරන අය රටේ බොහෝ ඇතත් එය ගැන මනා දැනුමක් ඇති අය උගතුන් අතර ද සුලභ නැත. මෛත්‍රිය බුද්ධාගමයේ මූලික ධර්මයෙකි. එබැවින් එය නැවත නැවත කියවා හොඳින් තේරුම් ගන්නා ලෙසත්, එය තේරුම් කර ගෙන ඵලදායක වන පරිදි මෛත්‍රී භාවනාව තම තමන් විසින් කරන් ලෙසත්, අන්‍යයන්ටත් එය කියා දී මෛත්‍රී භාවනාව පුරුදු කරවන ලෙසත්, මෙය කියවන පින්වතුන් ගෙන් විශේෂයෙන් ඉල්ලමු.

(පඤ්ච ශීලය හා ආජීවාෂ්ටමක ශීලය පිළිබඳ පසු කාලයේදී මා අවබෝධ කරගත් කරුණු ඇතුළත් ලිපියක් ද මෙම මුද්‍රණයෙහි පල කර ඇත.)

මෙයට - ශාසනස්ථිතිකාමී,

රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර

2485 (1949) නොවැම්බර් මස 18 වෙනි දින

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ දී ය.

පඤ්ච ශීලය හා ආජීවාෂ්ටමක ශීලය

(ශීල පාරමිතාව හා සම්බන්ධයි)

ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන මේ කරුණු තුන හා බොරුකීම, කේලාම්කීම, පරුෂ වචන කීම, කෙලෙස් වැඩීමට පව් ඇති වීමට කාලය අපතේ යාමට හේතුවන නිර්ථක කතාකීම, අධර්මයෙන් ජීවත්වීම යන මේ කරුණු අට අතීත කාලයේ පටන් ම ලෝකයේ සියලු ම ආගම් අදහන ආගම් නො අදහන නුවණැති සෑමදෙනා විසින් ම නො කළ යුතු වැඩ සැටියට, නො මනා වැඩ සැටියට පිළිගත් කරුණු අටෙකි. ඒවායින් වැළකීම ශීලය ය. මේ ශීලය නිත්‍ය ශීලයක් වශයෙන් සමාදන් වී ආරක්ෂා කිරීම සමුච්ඡේද වශයෙන් ක්ලේශයන් ප්‍රහාණය කර නැති පෘථග්ජන පුද්ගලයනට දුෂ්කරය. පෘථග්ජනයන්ට නිත්‍ය ශීලය වශයෙන් රැකීමට ගන්නා පඤ්ච ශීලය පිළියෙල කර තිබෙන්නේ ආජීවාෂ්ටමක ශීලයෙන් අංග සතරක් පමණක් ගෙන ය. අෂ්ටාංග ශීල, දසශීල වලට ගෙන ඇත්තේ ද ආජීවාෂ්ටමක ශීලයෙන් අංග සතරක් පමණෙකි. සාමණේර ශීලයට ගෙන ඇත්තේ ද ඒ අංග සතර පමණෙකි.

බොහෝ සික පද ඇති මහා ශීලය, උපසම්පදා ශීලය යි. එයට ද ආජීවාෂ්ටමක යේ සිකපද සියල්ල ගෙන නැත. ආජීවාෂ්ටමක ශීලයේ කාය කර්මය පිළිබඳ වූ මුල් ශික්ෂාපද තුන ගැන විනයෙහි සිකපද ඇත්තේ ය. වාක්කර්ම පිළිබඳ වූ ශික්ෂාපද සතරෙන් පළමු වන ශික්ෂාපදය සම්බන්ධයෙන් “සම්පජාන මුසාවාදෙ පාචිත්තියං” යනුවෙන් සිකපදයක් ඇත්තේ ය. “පිසුණාවාචා වෙරමණී” යන දෙවන සිකපදය සම්බන්ධයෙන් විනයෙහි “භික්ඛු පෙසුඤ්ඤෙ පාචිත්තියං” යනුවෙන් සිකපදයක් ඇත්තේ ය. එය පනවා ඇත්තේ ද සීමා සහිතව ය. භික්ෂූන්ට කේලාම් කීමෙන් මේ සිකපදයෙන් පචිති ඇවැත් වේ. අනුපසම්පන්න-යන්ට කේලාම් කීමෙන් පචිති ඇවත නොවේ. “පරුසාවාචා වෙරමණී” යන සිකපදය සම්බන්ධයෙන් විනයෙහි “ඕමසවාදෙ පාචිත්තියං” යන සිකපදය ඇත්තේ ය. එය ද පනවා ඇත්තේ සීමා සහිතව ය. ඒ ඇවත වන්නේ ද භික්ෂුවකට ආක්‍රෝශ කිරීමෙනි. අනුපසම්පන්නයකුට ආක්‍රෝශ කිරීමෙන් පචිති ඇවැත් නොවේ. “සම්ඵප්පලාපෙ පාචිත්තියං” කියා විනයෙහි සිකපදයක් නැත. උපසම්පදා ශීලයටත් සම්පූර්ණයෙන් ඇතුළත් කොට නැති ආජීවාෂ්ටමක ශීලය. පෘථග්ජන ගිහියකුට නිත්‍ය ශීලයක් වශයෙන් රැකීම දුෂ්කර ය.

බුදුරජාණන් වහන්සේ විසින් ගිහියන්ට නිත්‍ය ශිලය වශයෙන් දේශනය කර ඇත්තේ පඤ්ච ශීලය යි. පඤ්ච ශිලය දේශනා කර ඇති සූත්‍ර බොහෝ ගණනක් සුත්‍ර පිටකයෙහි දක්නා ලැබේ. “ආජීවට්ටමක සීලං” යන වචනය පවා පිටකත්‍රයේ කොතැනක හෝ සඳහන් වී තිබෙනු නො දක්නා ලදී. අටුවා පොත්වල කීප තැනක ඒ වචනය දක්නා ලැබේ.

මහානාම ශාක්‍යතුමා සෝවාන් පුද්ගලයෙකි. නිතර බුදුන් වහන්සේ ඇසුරු කරන්නෙකි. දිනක් බුදුන් දක්නට ගියා වූ, හෙතෙම “ස්වාමීනී, උපාසකයකු වන්නේ කෙසේදැ” යි විචාළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ:-

“යතෝ ඛො මහානාම බුද්ධං සරණං ගතෝ හොති. ධම්මං සරණං ගතො හොති, සංඝං සරණං ගතො හොති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හොති” යනුවෙන් තෙරුවන් සරණ යාමෙන් උපාසකයකු වන්නේ යයි වදාළ සේක.

ඉක්බිති “කෙසේ නම් උපාසක තෙමේ සිල්වත් වන්නේදැ” යි විචාළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “යතෝ ඛෝ මහානාම උපාසකෝ පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ජාචාරා පටිවිරතෝ හොති, මුසාවාදා පටිවිරතෝ හොති, සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හොති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ සීලසම්පන්නෝ හෝති” යනුවෙන් පඤ්ච ශීලයෙන් උපාසක තෙමේ සිල්වත් වන්නේ යයි වදාළ සේක.

මෙ තන්හි ආජීවාෂ්ටමක ශීලයක් සඳහන් කර නැත. ඉදින් බුදුන් වහන්සේ මේ සස්නෙහි ගිහියන්ට සමාදන් කරවන නිත්‍ය ශීලය ආජීවාෂ්ටමක ශීලය වී නම් මහානාම ශාක්‍යතුමාට පඤ්ච ශීලය නො වදාරන්නාහ. ආජීවාෂ්ටමක ශීලය ම වදාරන්නාහ.

මේ කරුණ සඳහන් වන්නේ සෝතාපත්ති සංයුක්තයේ මහානාම සූත්‍රයේ ය. මේ කරුණ මෙසේ ම අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ද සඳහන්ව ඇත්තේ ය. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ජීවකම්බ වනයෙහි වැඩ වෙසෙන අවස්ථාවක ජීවක වෛද්‍ය වරයා ද භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය ඇසීය. භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍ය හට පිළිතුරු දුන් පරිදි උපාසක ශීලය වශයෙන් පඤ්ච ශීලය ම වදාළ සේක. ආජීවාෂ්ටමක ශීලයක් නො වදාළහ. මෙය ද අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වන්නකි. අංගුත්තර නිකායේ නවක නිපාතයේ සත්තාවාස වග්ගයේ සූත්‍රයක අනේපිඬු සිටාණන්ට පඤ්ච ශීලය වදාරා ඇත්තේ ය. අනේපිඬුසිටු පන්සියයක් උපාසකවරුන් සමඟ බුදුන් දක්නට ගිය අවස්ථාවක දී ද තථාගතයන් වහන්සේ පඤ්චශීලය දේශනය කළ බව අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ සූත්‍රයක දක්වා ඇත්තේ ය. මෙසේ අංගුත්තර නිකායේ සූත්‍ර බොහෝ ගණනක පඤ්චශීලය දක්වා ඇත්තේ ය. ජත්ත මානවකයාහට මැරෙන දිනයේ දී බුදුරජාණන් වහන්සේ පඤ්චශීලය සමාදන් කරවූ බව විමානවස්තු ප්‍රකරණයෙහි දක්වා ඇත්තේ ය.

භාවනා ක්‍රම විස්තර කර ඇති ග්‍රන්ථ අතරින් ප්‍රධාන ග්‍රන්ථය බුදුගොස් හිමියන්ගේ විසුද්ධිමාර්ගයයි. එහි ගෘහස්ථ ශීල දක්වා ඇත්තේ මෙසේ ය.

“උපාසක උපාසිකානං නිච්ච සීල වසෙන පඤ්ච සික්ඛාපදානි සති වා උස්සාහෙ දස උපෝසථංගවසෙන අට්ඨාති ඉදං ගහට්ඨසීලං”

එතැන්හි ආජීවාෂ්ටමක ශීලයක් සඳහන් කර නැත. දීඝනිකායේ සාමඤ්ඤ ඵල සූත්‍ර අටුවාවේ ද, මජ්ක්‍ධිම නිකායේ භයහේරව සූත්‍ර අටුවාවේ ද උපාසක ශීල වශයෙන් දක්වා ඇත්තේ ද පඤ්ච ශීලය ය.

සෝවාන් පුද්ගලයන්ගේ ශීලය

සංයුක්ත නිකායේ සෝතාපත්ති සංයුක්තයේ හා තවත් බොහෝ තැන්වල ද සෝතාපත්තියංග සතරක් දක්වා ඇත්තේ ය. එහි සතරවන අංගය වශයෙන් දකවා ඇත්තේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වන බව ය. ඒ ආර්‍ය්‍යකාන්ත ශීලය කුමක්ද යන බව මහාපරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙසේ දක්වා ඇත්තේ ය.

“අරියකන්තේහීති අරියානං කන්තේහි පියෙහි මනාපේහි පඤ්චසීලානි හි අරියසාවකානං කන්තානි හොන්ති භවන්තරේ පි අවිජ්හිතබ්බතො” මෙයින් දැක්වෙන්නේ පඤ්චශීලය අරියකන්ත ශීලය කියා ය. මේ අනුව කිවයුත්තේ සෝවාන් පුද්ගලයන්ගේ නිත්‍ය ශීලය පඤ්චශීලය බව ය.

ශීල බලයෙන් බුදුන් වහන්සේ නවතා ගත් පූර්ණා නම් දාසිය.

මේ මනෝරථපූරණී නම් අටුවාවේ සප්තක නිපාත වර්ණනාවේ එන කථාවකි.

එක් කලෙක තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වස් වැස පවාරණය කොට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා හා දක්ෂිණාගිරියට චාරිකාවේ යම්හයි නික්මුණු සේක. පසේනදී කොසොල් රජතුමා හා අනේපිඬු මහසිටුහු ද විශාකා මහා උපාසිකාව හා තවත් බොහෝ ජනයා ද එක් වී බුදුන් වහන්සේගේ ගමන නවත්වන්නට උත්සාහ කළහ. ඔවුනට බුදුන් වහන්සේ නැවැත්විය නො හැකි විය. අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ නො නැවැත්විය හැකිවීම ගැන සිතමින් ජන ශූන්‍ය ස්ථානයක වාඩි වී සිටියේය. සිටු නිවසේ වැඩ කරන පූර්ණා නම් දාසිය නො සතුටින් හිඳිනා සිටුතුමා දැක “හිමියනි, ඔබතුමා නො සතුටින් හිඳිනා සේ පෙනෙන්නේ කුමක් නිසා දැ” යි කීවාය. එකල්හි සිටුතුමා “තථාගතයන් වහන්සේ චරිකාවෙහි වැඩම කරන්නාහ. උන්වහන්සේ ඉක්මනින් පෙරලා වැඩම කරන සේක් ද නැත දැයි මම කල්පනා කරමින් හිඳිමි”යි කීය. එකල්හි දාසිය “තාථාගතයන් වහන්සේගේ ගමන නැවැත්වුව හොත් මට කුමක් කරන්නහුදැ”යි කීවාය. තිට එසේ කළ හැකිවුව හොත් තී නිදහස් කරමි”යි සිටුතුමා කීය. දාසිය වහා ගොස් බුදුන් වහන්සේට වැඳ “ස්වාමීනි නවතින සේක්වා” යි කීවාය. තථාගතයන් වහන්සේ “අප නැවතුන හොත් තී කුමක් කරන්නෙහිදැ”යි වදාළහ. “ස්වාමීනි, දාසියක් වූ මට කිසිවක් නැති බව ඔබ වහන්සේ දන්නාහ. මට කළ හැකි අන් කිසිවක් නම් නැත. ඔබ වහන්සේ නවතින සේක් නම් මම තිසරණ සහිත පඤ්ච ශීලයෙහි පිහිටා සිල් රකිමි”යි කීවාය. ධර්මගරුක වූ තථාගතයන් වහන්සේ ඇගේ ආරාධනය පිළිගෙන එක් පියවරකුදු ඉදිරියට නො තබා පෙරලා වැඩම කළ සේක. පූර්ණා ද බුදුන් වැඩමවා දී නිදහස ලබා මෙහෙණි සස්නෙහි පැවිදි වූවා ය.

පඤ්ච ශීලය තථාගතයන්වහන්සේ උසස් කොට සලකන ශීලයක් නොවේ නම් රජුන්ගේ සිටුවරුන්ගේ ආරාධනාව නො පිළිගත් තථාගතයන් වහන්සේ පඤ්ච ශීලය රකිමි” යි කී පූර්ණා දාසියගේ ආරාධනාව නො පිළිගන්නා සේක.

බුදුන් වහන්සේ දේශනා කරන ශීලය පඤ්ච ශීලය නොව ආජීවාෂ්ටමක ශීලය යයි ඇතැමුන් කියන නමුත් බුදුන් වහන්සේ විසින් හෝ ශාරිපුත්‍රාදි බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා විසින් හෝ කිසිවකුට ආජීවාෂ්ටමක ශීලය සමාදන් කරවූ බවක් පිටකත්‍රයේ සඳහන් වී තිබෙනු නො දක්නා ලදී. ඵසේ ආජීවාෂ්ටමක ශීලය සමාදන් වූ පුද්ගලයකු ගැන ද පිටකත්‍රයේ සඳහන්ව තිබෙනු නොදක්නා ලදී.

ආර්‍ය්‍ය අට්ඨංගික මාර්ගයේ ඇතුළත් වන්නේ ආජීවාෂ්ටමක ශීලය බව සැබෑ ය. එහි සම්මා වචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යනුවෙන් කියැවෙන්නේ ආජීවාෂ්ටමක ශීලය ය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය, වැඩිය යුත්තේ පඤ්ච ශීල, අෂ්ටාංග ශීල, දශ ශීල, චතුපාරිශුද්ධි ශීල යන මේ ශීලවල පිහිටා විදර්ශනා භාවනාවෙහි යෙදීමෙනි. විදර්ශනා වැඩීමෙහි යෙදෙන කල්හි මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීවයන්ට හේතු වන ක්ලේශයන් දුරුවීමෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංගයෝ වැඩෙති. ප්‍රථම මාර්ගය වන සෝතාපත්ති මාර්ගයට පැමිණි තැනැත්තාට “අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති” යන සතරවන අංගය ඇතිවන්නේ එහෙයිනි. එය ශීලසමාදානයකින් ඇතිවන්නක් නොවේ. ප්‍රාණඝාතාදියට හේතුවන ක්ලේශයන් දුරු වූ නිසා ඔහුට ඒවා නො කළ හැකි තත්ත්වයක් ඇති වේ. අරියකන්ත ශීලයෙන් යුක්තවීම යයි කියනුයේ ඒ තත්ත්වයට පැමිණීම ය.

පිටකත්‍රයේ කොතැනකවත් සඳහන් නො වන, අටුවා ටීකාවල සඳහන් නොවන පැරණි සිංහල බණ පොත්වල සඳහන් නොවන මේ ආජීවාෂ්ටමක ශීලයේ සිකපද අට කවර කලෙක කවුරු විසින් පිළියෙල කරන ලද දැයි එහි ඉතිහාසය නො දනිමු. සිකපද පිළියෙල කළ තැනැත්තාට එක් අවුලක් වී ඇති බව නම් පැහැදිලිය. දැනට භාවිත කරන ආජීවාෂ්ටමක ශීලයේ සිකපද යොදා ඇති පිළිවෙළ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනයට නොගැලපේ. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනයේ ශීලය දක්වා ඇත්තේ සම්මා වාචා, සම්මා කම්මන්තො, සම්මා ආජීවෝ යි වාග්දුශ්චරිතයෙන් වැළකීම මුල්කොට ය. කායදුශ්චරිතයෙන් වැළකීම දෙවැනි තැනට ය. ඒ නිසා ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනාව අනුව ආජීවාෂ්ටමක ශීලයේ සිකපද පිළියෙළ කරනවා නම්-

මුසාවාදා වේරමණී, පිසුනාය වාචාය වේරමණී, ඵරුසාය වාචාය වේරමණී, සම්ඵප්පලාපා වේරමණී, පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමෙසු මිච්ඡාචාරා වේරමණී, මිච්ඡා ආජීවා වේරමණී යන පිළිවෙළට ය. පාණාතිපාතා වේරමණී යන්න මුලට ගෙන තිබෙන්නේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය අනුව නොව පඤ්ච ශීලය අනුව යාමෙනි.

ආජීවාෂ්ටමක ශීලය සමාදන් කරවීම, සමාදන් වීම අපේ පොත්වලට ද ඇතුළත් වී ඇත. එසේ වී තිබෙන්නේ බාල කාලයේ අප ඇසුරු කළ තෙරුන් වහන්සේලාගේ ඉගැන්වීම අපත් අවිචාරයෙන් පිළිගෙන සිටි බැවිනි. අපේ පොත් නැවත නැවත මුද්‍රණය කරවීමේ දී ඒ ශීලය ඒවායින් ඉවත්කිරීමට උපදෙස් දී ඇත.

පාරමිතා ප්‍රකරණය

නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස.

සකල සත්ත්ව සමූහයා කෙරෙහි පතල මහා කරුණාවෙන් සංසාර සාගරයට බැස චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අතිදීර්ඝ කාලය මුළුල්ලෙහි දානාදි සමතිස් පැරුම් දහම් පුරා සම්‍යක් සම්බොධි සමධිගමයෙන් ලෝකාග්‍ර පදප්‍රාප්ත වූ, සකල ධර්ම සමූහය තත්ත්වාකාරයෙන් දැන වදාළා වූ, අද්වයවාදී වූ, ශ්‍රී සිද්ධාර්ථ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ ධර්මය පිළිගන්නා වූ සත්පුරුෂයන් විසින් ඒ ධර්මයට අනුව පිළිපැදීමෙන් බලාපොරොත්තු වන උසස් ම දෙය නම් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ, බුද්ධාදි මහෝත්තමයන් විසින් පසස්නා ලද අමෘත මහා නිර්වාණයට පැමිණීම ය.

තුන්තරා බෝධිය කියැවෙන තන්හි ගැනෙන “බෝධි” යන වචනයෙන් කියැවෙනුයේ ලෝකෝත්තර වූ ආර්‍ය්‍යමාර්ගය හා සර්වඥතා ඥානය ය. බෝධි යනුවෙන් කියැවෙන ලෝකෝත්තර මාර්ගය සම්‍යක් සම්බෝධිය ය, ප්‍රත්‍යේක සම්බෝධිය ය. ශ්‍රාවක බෝධිය යයි තෙවැදෑරුම් වේ. එයින් ලොව්තුරා බුදුවරයන් වහන්සේලා ලබන සර්වඥතා ඥානාදි සකල බුද්ධ බලයනට කාරණය වන අර්හත් මාර්ගය සම්‍යක් සම්බෝධි නමි. මහාබෝධි යනු ද එයට ම නමෙකි. පසේ බුදුවරයන්ගේ අර්හත් මාර්ගය ප්‍රත්‍යේක සම්බෝධි නමි. බුද්ධ ශ්‍රාවකයන්ගේ අර්හත් මාර්ගය ශ්‍රාවකබෝධි නමි.

තුන්තරා බෝධියෙන් යම්කිසිවක් පතා පින්කරන්නා වූ සත්පුරුෂයෝ බෝධිසත්ත්ව නම් වෙති. බෝධිත්‍රයා ගේ වශයෙන් බෝධි සත්ත්වයෝ තිදෙනෙකි. සම්‍යක් සම්බෝධිය පිණිස පින් කරන තැනැත්තේ මහාබෝධිසත්ත්ව නමි. ඒ මහා බෝධිසත්ත්වයනට මහා සත්ත්වයෝ යයි ද කියනු ලැබේ. ප්‍රත්‍යේක සම්බෝධිය පිණිස පින් කරන තැනැත්තේ ප්‍රත්‍යේක බොධිසත්ත්ව නමි. ශ්‍රාවක බෝධිය සඳහා පින් කරන තැනැත්තේ ශ්‍රාවක බෝධිසත්ත්ව නමි.

පාරමී

බෝධිත්‍රය අතුරෙන් යම් කිසිවක් හෝ සංසාරයේ පර තෙර වූ නිවන හෝ පතා කරන්නා වූ කුශලයෝ “පාරමී” නම් වෙති. පාරමිතා යනු ද ඒවාට නමෙකි. පාරමී නම් වූ කුශලයෝ ඒ බෝධීන් කරා ද, නිවන කරා ද යාමට වාහනයක් බඳු වන බැවින් “යාන” නම් වෙති. ලොවුතුරා බුදු බව සඳහා පුරන පාරමිතාව මහා බෝධි යාන නම් වේ. මහායාන යනු ද එයට නමෙකි. පසේ බුදු බව පතා පුරන පාරමිතාව ප්‍රත්‍යේක බෝධි යාන නම් වේ. ශ්‍රාවක බෝධිය සඳහා පුරන පාරමිතාව ශ්‍රාවක බෝධි යාන නම් වේ.

"පාර” යනු ගංගා සමුද්‍රාදියේ පරතෙරට (එගොඩ ඉවුරට) නමෙකි. නිර්වාණය සංසාරයාගේ පරතෙර ය. එබැවින් එයට ද පාර යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. සංසාර සාගරයාගේ පරතෙර බැවින් පාර නම් වූ නිවනට පමුණුවන ධර්මයෝ ය, යන අර්ථයෙන් නිවන් පතා හෝ, බෝධිය පතා හෝ, කරන කුශලයෝ පාරමී නම් වෙති. තව ද “පරම” යනු උත්තම යන අර්ථය දෙන වචනයෙකි. දාන ශීලාදී ගුණ විශේෂයන් නිසා බෝසත්හු අන්‍යයන්ට වඩා උත්තම බැවින් පරම නම් වෙති. පරම නම් වූ බෝසතුන්ගේ ක්‍රියාවෝය යන අර්ථයෙන් ද නිවන් පිණිස හා බෝධිය පිණිස කරන්නා වූ කුශලයෝ පාරමී නම් වෙති. තවත් නොයෙක් ආකාරවලින් චර්‍ය්‍යාපිටකාර්ථකථාදියෙහි පාරමී ශබ්දය වර්ණනා කර තිබේ. ඒ සියල්ලෙන් ම දැක්වෙන්නේ සම්බෝධිය හා නිවන පතා කරන කුශලයෝ ම ය.

ලෝකයේ බොහෝ දෙනකුන් පින් කරනුයේ දිව්‍යලෝක මනුෂ්‍ය ලෝකයන්හි ඇති සැප සම්පත් පිණිස ය. භවභෝග සම්පත් පතා කරන ඒ තෘෂ්ණා නිඃශ්‍රිත කුශලයෝ භවභෝග සම්පත් ලබාදීමට ම මිස සත්ත්වයා සම්බෝධියට හා නිවනට පැමිණවීමට සමත් නො වෙති. නිවනට පැමිණ වීමේ සමත් බව නැති, සසර දික් කරන්නා වූ ඒ කුශලයෝ පාරමී සංඛ්‍යාවට නො වැටෙති. ඇතැම්හු කීර්තියට ප්‍රශංසාවට ආශාවෙන් ද පින් කරති. එසේ කරන කුශලය නිවනට තබා භවභෝග සම්පත් මැනවින් ලබා දීමට ද සමත් නො වේ. තෘෂ්ණා නිඃශ්‍රිත වූ එබඳු කුශලයෝ ද පාරමීහු නො වෙති.

ඇතැම්හු, තමන්ගේ උසස් බව, සමත් බව, ගුණවත් බව, පොහොසත් බව, ලොවට හෙළි කිරීමේ අටියෙන් පින් කරති. ඇතැම්හු පින් කිරීම් වශයෙන් අනුන් යටපත් කිරීමේ අටියෙන් අනුන් දන් දුන්නාට වඩා මහත් කොට දන් දෙති. අනුන් සිල් රකිනවාට වඩා උග්‍රකොට සිල් රකිති. අනුන් කළ පින්කම්වලට වඩා මහත් කොට පින්කම් කරති. අනුන් කරවූ වෙහෙර විහාරවලට වඩා මහත් වූ වෙහෙර විහාර කරවති. මාන නිඃශ්‍රිත වූ එබඳු පින් ද පාරමීහු නො වෙති. එබඳු පින්කම්වල ද නිවන් ලැබීමේ තබා භවභෝග සම්පත් ලැබීමේ ශක්තිය ද හීන ය.

ඇතැම්හු විදර්ශනා මාර්ගඵලයන් ගැන සැලකීමක් නො කොට මේ දානය ම, මේ ශීලය ම, මේ තපස ම, සත්ත්වයාගේ විශුද්ධියට හේතුව ය. විශුද්ධියට මෙය හැර අන් හේතුවක් අන් කළ යුත්තක් නැතය යි වරදවා ගෙන දානාදියෙන් ම විශුද්ධියට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පින් කරති. දෘෂ්ටිය නිඃශ්‍රය කොට ඇති ඒ කුශලයෝ ද පාරමී සංඛ්‍යාවට නො පැමිණෙති. එබඳු දෘෂ්ටි නිඃශ්‍රිත කුශලයන් බොහෝ සෙයින් කරන්නේ අබෞද්ධයන් විසිනි. ආගම හොඳින් නො දැන අඳුරේ අත ගෑමක් සේ ආගම අදහන ඇතැම් බෞද්ධයෝ ද එබඳු දෘෂ්ටි නිඃශ්‍රිත කුශලයන් කෙරෙති.

මෙකල පින් කරන බොහෝ දෙනා සිරිතක් වශයෙන් ම භව භෝග සම්පත්ති ය, නිවනය යන දෙක ම පතති. දෙපැත්ත ම පතා කරන ඒ කුශලයෝ පාරමී සංඛ්‍යාවට යෙත් ද? නො යෙත් ද? යන බව සැලකිය යුත්තකි. භවභෝග සම්පත් පැතුවේ ද අවසානයට බෝධිය හා නිවන පතන බැවින් ඒවා පාරමී නො වෙති යි නො කිය හැකිය. එහෙත් ඒවා භව භෝග සම්පත් පිළිබඳ වූ තෘෂ්ණාවෙන් දූෂිත බැවින් ඉක්මනින් බෝධිය කරා, නිවන කරා පැමිණවීමට සමත් කුශලයෝ නො වෙති. ඒ බව පෙර බරණැස් නුවර පසේ බුදු කෙනකුන්ට උක් පැණි දන් දුන් සහෝදරයන් දෙදෙනාගේ කථාවෙන් තේරුම් ගත යුතු ය.

ඒ මෙසේය:

පෙර මේ කපින් අනූ එක්වන කපෙහි බරණැස් නුවර විසූ සහෝදරයෝ දෙදෙනෙක් උක් කෙතක් වැවූහ. ඔවුන් වැවූ උක් වර්ගය පැණි ගැනීමට නො මිරිකිය යුතු වූ කැපූ තැනින් පැණි සියල්ල ගලා බස්නා වූ උසස් වර්ගයකි. ඒ වර්ගයේ උක් වර්තමාන ලෝකයේ ඇති බව අසන්නට නැත. ඔවුන් දෙදෙනාගන් බාල සහෝදරයා දිනක් උක් කෙත බලන්නට ගොස් හැරී එනුයේ තමාගේ ප්‍රයෝජනයට එකක් ගැනීමට හා වැඩි මහලු සහෝදරයාට එකක් දීමට ද සිතා උක් දඬු දෙකක් ද කපා ගෙන ආවේ ය. ඔහුට අතර මගදී පසේ බුදුවරයන් වහන්සේ නමක් හමු විය. ඔහු පසේ බුදුන්ට පැහැදී උතුරු සළුව එලා එහි උන්වහන්සේ වැඩ හිඳුවා, තමා පිණිස ගෙනා උක් දඬුව ගෙන පැණි ගලා නො යනු පිණිස එය වසා බැඳ තිබූ රෙදි කඩ ඉවත් කොට එහි පැණි පසේ බුදුන් වහන්සේගේ පාත්‍රයට එලවී ය. උක් පැණියෙන් පාත්‍රය පිරී ගියේය. පසේ බුදුන් වහන්සේ එය වැළඳූ කල්හි වඩාත් පහන් වූ සිත් ඇති පුරුෂ තෙමේ “වැඩි මහලු සහෝදරයා මුදල් ගන්නේ නම් මුදල් හෝ පින් ගන්නේ නම් පින් හෝ ඔහුට දෙමි”යි සිතා දෙවන උක් දඬුවේ පැණි ද පසේ බුදුන් වහන්සේට ම පුදා පසඟ පිහිටුවා වැඳ “ස්වාමීනි, මා විසින් යම් අග්‍ර රසයක් නුඹ වහන්සේට පුදන ලද ද, ඒ පිනෙන් දිව්‍ය මනුෂ්‍ය ලෝකයන්හි සම්පත් වළඳා අවසානයේ දී නුඹ වහන්සේ පැමිණි ධර්මයට ද පැමිණෙම්වා”යි ප්‍රාර්ථනය කළේ ය.

ඔහු ගෙට ගිය කල්හි වැඩි මහලු සහෝදරයා “කොහි ගියෙහිදැ?” යි විචාළේය. හේ උක් කෙත බලන්නට ගිය බව හා උක් දඬු දෙකක් ගෙන ආ සැටිත් ඒවා පසේ බුදුන් වහන්සේට පිදූ සැටිත් කියා ‘ඔබ ගේ උක් ගසට මිල ගන්නේහි ද? පින් ගන්නෙහිදැ’යි ඇසීය. වැඩි මහලු සහෝදරයා පසේ බුදුන් වහන්සේ කළ කී දේ විචාර ඔහුගේ උක් ගසේ පැණි පසේ බුදුන් වහන්සේ විසින් අහසින් ගන්ධමාදන පර්වතයට ගෙන ගොස් පන්සියයක් පසේ බුදුවරයන් වහන්සේට දුන් සැටි කී කල්හි, මහත් සතුටට පැමිණි හෙතෙමේ මිළයක් නො ඉල්ලා නොයෙක් දේ නො පතා “තමා මෙ උක්ගස් පැණි දුන් පිනෙන් තමාට ද ඒ පසේ බුදුන් වහන්සේ විසින් දක්නා ලද ධර්මය අවබෝධ කරගන්නට, දක්නට ලැබේවා’යි කෙළින් ම නිවන ප්‍රාර්ථනය කෙළේ ය.

මෙම උක් පැණි දන් දුන් සහෝදරයෝ දෙදෙන ආයු ඇති තාක් සිට මරණින් මතු දෙව්ලොව ඉපද, බොහෝ කලක් දිව සැප වළඳා විපස්සී බුදුන් වහන්සේ ගේ කාලයේදී දෙව් ලොවින් චුත ව, බන්ධුමතී නගරයේ එක් කුලගෙයක වැඩිමහල්ලා වැඩිමහලුව ද, බාලයා බාලව ද උපන්හ. ඔවුන් දෙදෙනාගෙන් වැඩිමහල්ලා “සේන” නම් විය. බාලයා “අපරාජිත” නම් විය. ඔවුන් වැඩිවිය පැමිණ වෙසෙන කල්හි, වැඩිමහලු සහෝදරයා බුදුන්වහන්සේ වෙත දහම් අසන්නට යන්නවුන් හා විහාරයට ගොස් දහම් අසා සසර කලකිරී බුදු සස්නෙහි පැවිදි ව නොබෝ කලකින් ම විදසුන් වඩා සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියේ ය.

උක් පැණි දන් දුන් කුශලයේ මූලිකයා වූ බාල සහෝදරයා බොහෝ බණ අසා ද වස්තුකාම ක්ලේශ කාමයන් දුරු කරන්නට නො සමත් වීමෙන් ඒ බුදු සස්නෙහි දී නිවන් දකින්නට නො සමත් විය. හේ ඒ බුදු සස්නෙහි ද බොහෝ පින් කොට නැවත ද දෙව්ලොව උපන. විපස්සී බුදුන් වහන්සේගේ කාලයෙන් කල්ප සැටකට පසු මේ කපින් එක්තිස් වන කපෙහි “සිඛීය, වෙස්සභුය” යි බුදුවරයෝ දෙනමක් ලොව පහළ වූහ. අපරාජිත ඒ බුදුවරයන්ගේ සසුන්වල දී ද නිවන් දක්නට නො සමත් විය.

ඉන් පසු මෙ කප කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලා ලොව පහළ වූහ. උන් වහන්සේලාගේ සසුන්වලදී ද හේ නිවන් නො ලැබුවේය. කාශ්‍යප බුදුන් වහන්සේගේ සස්න ද ඉක්මී අප බුදුන් වහන්සේ ලොව පහළ වූ පසු උන්වහන්සේ ගේ කාලයෙහි “ජෝතිය” නම් සිටුවරයකුව උපන් අපරාජිත, බුදු සස්නෙහි පැවිදි ව, තමා හා එකට පින් කොට නිවන පමණක් පැතූ සහෝදරයා නිවන් දැක කල්ප අනූවකින් පසු, බුදුවරයන් වහන්සේලාගේ සසුන් පසක් ඉක්ම ගියාට ද පසු, නිවන් දුටුවේ ය. භවභෝග සම්පත් ද සමග නිවන් පතන්නා වූ තැනැත්තාට සසර දික් වන සැටි, ලෙහෙසියෙන් නිවන් නො ලැබෙන සැටි, මේ කථාවෙන් තේරුම් ගත යුතුය. මෙය දීර්ඝ කථා වස්තුවෙකි. එය විස්තර වශයෙන් දනු කැමැතියන් විසින් දම්පියා අටුවාවෙන් බලා ගත යුතු.

භවභෝග සම්පත් සහිත ව නිවන පතන්නා ගේ කුශලය තෘෂ්ණාව නිසා දුබල වන බැවින් එබඳු පින් කළ තැනැත්තා හට බුදු සස්නක් හමු වූ විටෙක දහම් හඬ ඇසුනේ ද කාමයන් හැර දැමීමට තරම් ශක්තියක් නො ලැබේ. ඔවුනට නිවන් ලැබීමට කල් ගත වන්නේ එහෙයිනි. භවභෝග සම්පත් නො පැතුයේ ද බෝධිය හෝ නිවන පමණක් හෝ පතා පින් කරන්නා හට අඩුවක් නැතිව භවභෝග සම්පත් ලැබෙන්නේ ය. හේ ලැබෙන භවභෝග සම්පත්වල ඒවා පැතු තැනැත්තන් පමණට නො ඇලෙන්නේ ය. දීමට හා සම්පත් හැර දැමීමට හේ සමත් වන්නේ ය. එබැවින් හේ දන් දීමෙන් උසස් ලෙස භවභෝග සම්පත් ද ලබන්නේය. සුදුසු අවස්ථාව දුටු විට ඒවා හැර පැවිදි වන්නට ද සමත් වන්නේ ය. එබැවින් හේ ඉක්මනින් නිවන් දක්නේ ය.

මෙකල බොහෝ දෙනා පිනක් කළ කල්හි බොහෝ භවභෝග සම්පත් පතා අවසානයේ දී මෙතේ බුදුන් දැක නිවන් දක්නට ද පතති. “පින් කොට පතන හැම දෙයක් ම එසේ සිදුවේය” යන වැරදි හැඟීමක් ද බොහෝ දෙනාට තිබේ. පින් කොට පතන දේවල් සිදුවන්නේ පතන දේ සිදු වීමට තරම් බලයක් ඇති වුවහොත් පමණෙකි. බර කරත්තය මොටෝරියක් යන වේගයෙන් ගමන් කරවිය නො හෙන්නාක් මෙන් දුබල පිනක් කොට මහත් දෙයක් පතා නො ලැබිය හැකිය. එබැවින් පැතූ පමණින් ම මෙතේ බුදුන් දැක නිවන් දැකීම සිදු නො වන බව දත යුතු ය.

පිනක් කොට මෙතේ බුදුන් දැක නිවන් දක්නට පැතූ කල්හි ඒ පිනෙහි එබඳු ශක්තියක් නැති කමින් හෝ යම් කිසි අන්තරායකින් හෝ එය සිදු නො වුවහොත් එයින් ඒ පිනේ බලය ද කෙළවර වී, එය මතු හෝ නිවන් දැකීමට ද හේතු නොවී අහෝසි වී යන්නට ඉඩ තිබේ. එබැවින් මෙතේ බුදුන් ගේ සස්නෙන් නිවන් දක්නට පැතීමට වඩා අනියමින් නිවන පැතීම යහපත් බව කිය යුතු ය. වර්තමාන ජනයා අතර මේ බුදු සස්නෙහි ම නිවන් දැකීමට හේතු සම්පත් ඇති අය ද නැතය යි නො කිය හැකි ය. සමහර විට බොහෝ ඇති විය හැකි ය. මෙතේ බුදුන් වහන්සේ ගැන ම බලාපොරොත්තු වීම මේ සස්නෙහි ම නිවන් දැකීමට හේතු සම්පත් තිබේ නම් එයින් ප්‍රයෝජන නො ලැබී යාමට ද කරුණෙකි. නිවන් දැකීමට හේතු සම්පත් ඇත ද එය සිදු කර ගැනීමට උත්සාහයක් නො කරන ඒ ගැන බලාපොරොත්තු හැර සිටින තැනැත්තා කරා පින් බලයට ඉබේ නිවන පැමිණෙන්නේ නො වේ. එය ලැබීමට උත්සාහ කළ යුතුය.

චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරූ අප මහ බෝසතාණන් වහන්සේට පවා නිවන් දැකීමට සය වසක් දුක් ගන්නට සිදු විය. අන්‍යයන් ගැන කියනු ම කිම? උත්සාහයක් නැතිව, බලාපොරොත්තුවක් නැතිව, සිටින තැනැත්තාගේ හේතු සම්පත්තිය මහ ධන සිටු පුත්‍රයාගේ හේතු සම්පත්තිය මෙන් නිෂ්ඵල වන්නේ ය.

දිනක් සිඟා කෑමෙන් ජීවත් වන මහා ධනසිටු පුත්‍රයා දැක, බුදුන්වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළ සේක. “ආනන්දය, මොහුට ප්‍රථම වයසේදී තමාගේ ධනය නැති කර නො ගෙන ඒවා කර්මාන්තයන්හි යොදන ලදුයේ නම් මේ නුවර අග්‍ර සිටුවරයා වන්නට තිබුණේය. පැවිදි වී නම් රහත් ව නිවන් දක්නට තිබුණේ ය. මොහු ගේ භාර්‍ය්‍යාවට ද, අනාගාමී ඵලයට පැමිණෙන්නට තිබිණ. මධ්‍යම වයසේ දී මොහු ගේ ධනය කර්මාන්තයන්හි යෙදවී නම් මොහුට මේ නුවර දෙවන සිටු වන්නට තිබුණේය. පැවිදි වී නම් අනාගාමී වන්නට තිබුණේ ය. මොහුගේ භාර්‍ය්‍යාවට ද සකෘදාගාමී ඵලයට පැමිණෙන්නට තිබිණ.

ධනය නො නසා ගෙන පශ්චිම වයසේ දී ඒවා කර්මාන්තයන්හි යොදන ලදුයේ නම් මොහුට මේ නුවර තුන්වන සිටුවරයා වන්නට තිබිණ. 'පැවිදි වී නම් සකෘදාගාමී ඵලයට පැමිණෙන්නට තිබිණ. මොහුගේ භාර්‍ය්‍යාවට ද සෝවාන් ඵලයට පැමිණෙන්නට තිබිණ. දැන් මොහු දෙපක්ෂයෙන් ම පිරිහී තැවෙන්නේ ය. මේ මහා ධන සිටු පුත්‍රයා ගේ හේතු සම්පත්තියෙන් ඔහුට පලක් නො ලැබුණාක් මෙන් ම මේ සස්නේ නිවන් දැක්මට හේතු සම්පත් ඇතියකු මෙතේ බුදුන් ගේ සස්නෙහි දී නිවන් දක්නට පත පතා සිටිය හොත් ඒ හේතු සම්පත්තියෙන් ඔහුට පලක් නො වන්නේ ය.

සමහර විට ඔහුට මෙතේ බුදුන් ගේ සස්නෙහි දී ද තවත් බුදුවරයකුගේ කාලයේ දී නිවන් පතන්නට සිත් වන්නට ද බැරි නැත. එසේ ඉදිරියට උපදනා බුදුවරුන් පත පතා කල් යවන්නා හට කවදා නිවන් දැකිය හැකි වේ දැයි නො කිය හැකි ය. අප ලබා සිටින මේ බුදුසස්න නිවන් නො ලැබිය හැකි හිස් එකක් නොවේ. මේ සස්නෙහි නිවන් ලැබිය හැකි කාලය තවත් බොහෝ ඉදිරියට තිබේ. පුබ්බයෝගාවචර සූත්‍රය නිවන් දකිනු කැමතියන් විසින් විශේෂයෙන් සැලකිය යුතු සූත්‍ර ධර්මයෙකි. ඒ මෙසේ ය.

"පඤ්චිමෙ ආනන්ද, ආනිසංසා පුබ්බයොගාවචරෙ, දිට්ඨෙව ධම්මෙ පටිගච්චේව අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙව ධම්මේ පටිගච්චේව අඤ්ඤං ආරාධෙති, අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, අථ දෙවපුත්තො සමානො අඤ්ඤං ආරාධෙති, අථ බුද්ධානං සම්මුඛී භාවෙ ඛිප්පාහිඤ්ඤො හොති. අථ පච්ඡිමෙ කාලෙ පච්චේක බුද්ධො හොති.”

ආනන්දය, පූර්ව යෝගාවචරයා හට (පෙර භාවනා කළ තැනැත්තා හට) මේ අනුසස් පස ඇත්තේ ය. වර්තමාන භවයේ දී කලින් ම රහත් වන්නේ ය. වර්තමාන ජාතියේ දී කලින් රහත් නො වී නම් මරණාසන්න කාලයේ දී රහත් වෙයි. එසේ නො වී නම් දේවපුත්‍රයකු වී රහත් වෙයි. එසේ ද නො වී නම් බුදුවරයන් හමුවේහි දී වහා රහත් වෙයි. එසේ ද නො වී නම් පසු කාලයේ දී පසේ බුදු වෙයි. මේ පූර්ව යෝගාවචර සූත්‍රයේ තේරුම ය.

පූර්ව යෝගාවචරයනට වර්තමාන ජාතියේදී ම රහත් විය හැකි බව හා නො හැකි වී නම් දෙ වන ජාතියේ දෙවියකු වී රහත්විය හැකි බව ද පූර්ව යෝගාවචර සූත්‍රයෙන් ප්‍රකාශ වේ. එබැවින් බෝධියට - නිවනට පැමිණෙනු කැමැතියන් විසින් වර්තමාන ජාතියේ ම එයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ක්‍රියා කිරීම මැනවි. නොහැකි වුව හොත් දෙවන ජාතියේ දෙව්ලොවදී බෝධියට - නිවනට පැමිණිමේ බලාපොරොත්තුවෙන් ක්‍රියා කරනු මැනවි.

මේ කාලයේ සැටියට දෙව්ලොව, මිනිස්ලොවට වඩා නිවන් දැකීමට පහසු තැන බව කිය යුතු ය. බුදුන් වහන්සේ පිරිනීවී දැනට අවුරුදු දෙදහස් පන්සියයකට සමීප කාලයක් ඉකුත් වී තිබේ. අප අතර බුදුන් දුටු කෙනෙක් නැත. බුදුන් වහන්සේ ගෙන් දහම් ඇසූ කෙනෙක් ද නැත. අපට තිබෙන්නේ බුදුන් වහන්සේ ගැන පරම්පරා බොහෝ ගණනක් අතින් අතට ආ ආරංචියකි. අපට ඇත්තේ පරම්පරා ගණනක් අතින් අතට ආ ධර්මයෙකි. මඟ ඵල ලැබීමට උපදෙස් ලබා ගැනීම සඳහා ඒවාට පැමිණ සිටින කෙනෙක් සොයා ගන්නට ද අපට නැත.

දෙව් ලොව දෙවියන් ගේ ආයුෂය දිර්ඝ බැවින් එදා බුදුන් දුටු, උන් වහන්සේ ගෙන් බණ ඇසූ දෙවියෝ අදත් දෙව්ලොව බොහෝ ඇතහ. දහම් අසා මඟ ඵල ලබා සිටින දෙවිවරු ද දෙවියන් අතර බොහෝ ඇතහ. බුදුන් වහන්සේ ගෙන් දහම් ඇසුවා වූ ද, දහම් අසා මඟ ඵල ලැබුවා වූ ද තැනැත්තන් ගෙන් වැඩි පිරිස දිව්‍ය බ්‍රහ්මයෝ ය. උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව අසා අටළොස් කෝටියක් සත්ත්වයන් නිවන් දුටු බව කියා තිබේ. එදා බණ ඇසූ පිරිසෙහි මනුෂ්‍යයන් සිටියේ පස් දෙනෙක් පමණෙකි. සෙස්සෝ දිව්‍ය බ්‍රහ්මයෝ ය. එදා මනුෂ්‍යයන්ගෙන් සෝවාන් මඟට පැමිණ නිවන් දුටුයේ එක් අයෙක් පමණ ය. තවත් බොහෝ ධර්ම සමාගමයන්හි නිවන් දුටු කෝටි ගණන් සත්ත්වයන්ගෙන් වැඩි දෙනා දිව්‍ය බ්‍රහ්මයෝ ම ය. ඒ දිව්‍ය බ්‍රහ්මයන්ගෙන් වැඩි දෙනා අදත් එහි ජීවත් වන්නාහ. එ බැවින් දෙව්ලොව උපන් තැනැත්තාට බුදුන් වහන්සේ ගෙන් දහම් ඇසූවන් ගෙන් ම ඒ දහම් ඇසිය හැකි ය. මඟ ඵල නිවන් දැක සිටින්නන් ගෙන් ම ඒ ගැන උපදෙස් ලැබිය හැකි ය.

බුදුන් වහන්සේගෙන් ම දහම් ඇසූවන් අතර පවත්නා ධර්මය පරම්පරා බොහෝ ගණනක් අතින් අතට අවුත් අප අතර තිබෙන ධර්මයට වඩා ශුද්ධ බව උසස් බව අවිවාදයෙන් පිළිගත යුතු ය. මාර්ග ඵලවලට පැමිණ සිටින්නකු දෙසන ධර්මය පෘථග්ජනයකු දෙසන ධර්මයට වඩා ශුද්ධ බව ද එසේ ම පිළිගත යුතුය. නිවන් දකිනු සඳහා ඔවුන් ගෙන් ලබා ගන්නා උපදෙස් ද පෘථග්ජනයකුගෙන් ලබා ගන්නා උපදෙස්වලට වඩා යහපත් ය. කරුණු මෙසේ හෙයින් මෙකල මඟපල ලබා නිවන් දක්නට හොඳ ම ස්ථානය පහසු ස්ථානය දිව්‍ය ලෝකය බව කිය යුතු ය. දැනට බුදුසස්සනක් ලබා සිටින්නවුන් විසින් තමන් ලබා තිබෙන බුදුසස්නෙහි ම නිවන් දැකීමට ඇති ඉඩ කඩ ගැන නො සොයා ඉතා දිර්ඝ කාලයකින් ඇති වන අන් බුදුවරයන්ගේ සසුන් ගැන සෙවීම අතට පත් දෙය හැර දැමීමකි. එය වැස්සට ගසින් ගසට යාම වැනි ක්‍රියාවකි.

කුශලය පාරමිතා සංඛ්‍යාවට පැමිණෙන්නේ ද නො පැමිණෙන්නේ ද ප්‍රාර්ථනයේ හැටියට ය. එබැවින් පින්කරනුවන් විසින් කරනු ලබන ප්‍රාර්ථනය සැලකිය යුතු කරුණෙකි. සිදු නො විය හැකි තරමේ පැතුම් පැතීම ද පිනෙන් ලැබිය හැකි ඵලය ලබා ගැනීමට බාධාවක් විය හැකිය. නො මනා පැතුම් පැතීමද නිවන් ලැබීමට බාධාවෙකි. සමහර විට නො මනා පැතුම් පැතීමෙන් නොයෙක් විපත් ද විය හැකි ය. ස්වර්ණතිලකා මල් පුදා නො මනා පැතුමක් පතා පුරුෂයන් උමතු කරවන රූප ශෝභාවක් ලබා ගත් නිසා රජවරු බොහෝ දෙනකුට හා උසස් ආචාර්‍ය්‍යවරයකුට ද ඇයට ද මැරෙන්නට සිදුවිය. එබැවින් පින් කොට පැතීමක් කරත හොත් නුවණින් සලකා යහපත් පැතීමක් ම කළ යුතුය. පින් කළ තැනැත්තාට නො පැතුයේ ද භවභෝග සම්පත් ලැබෙන්නේ ය. නො පැතුව හොත් ඒවා නො ලැබෙති යි බිය වන්නට කරුණක් නැත.

සාමාන්‍ය කුශලයන්ගෙන් නො පැතුව හොත් නිවන් නො ලැබේ. පැතුයේ ද කෙළින් ම නිවන් ලබා දීමට ශක්තියක් දානාදි කුශලයන්ට නැත. ප්‍රාර්ථනය කළ තැනැත්තා හට ඒ කුශලයෝ නිවන් ලැබීමට උපකාර වෙති. භවභෝග සම්පත් ගෙන දීමේ ශක්තිය කුශලයට ස්වභාවයෙන් ම ඇත්තේ ය. ඵ බැවින් ඵය නො පැතුයේද භවභෝග සම්පත් ලබා දෙන්නේය. භවභෝග සම්පත් පැතීමෙන් සිදුවන්නේ කුශලයේ නිවන් ලැබීමට උපනිඃශ්‍රය වීමේ ශක්තිය හීනවීම පමණකි. එ බැවින් පිනක් කළ කල්හි නිවන හෝ බෝධිය පමණක් පැතීම කළ යුතු ය. බෝධියට පැමිණිය හොත් නිවනට පැමිණීම ද වේ.

බුදු බව හෝ පසේ බුදු බව හෝ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක තනතුරක් හෝ නො පතන්නේ නම් කාල නියමයක් නැති වහා නිවනට පැමිණෙම්වා” යි පැතීම යහපති. භවභෝග සම්පත් නො පතා ම බැරි අයට ඒවා පතතොත් නිවන් මඟ නො වැසෙන ලෙස පැතීමට ගුරුකම් ගැනීමට පෞරාණිකයකු විසින් රචනා කර තිබෙන ප්‍රාර්ථනා ගාථා දෙකක් දක්වනු ලැබේ.

(1) පුඤ්ඤෙනානෙන සොහං නිපුණ මති සතො සම්පරායෙ ච තිත්තො

දක්ඛො දිට්ඨිජ්ජුපඤ්ඤො අවිකල විරියො භොගා වා සංවිහාගී

නික්ඛො සූරොදිතත්තො සපරහිත චරො දීඝජිවී අරොගො

ධඤ්ඤො වණ්ණො යසස්සී විපුලබලධරො කිත්තිමා කන්තත්‍යුපෙතො

.

(2) සද්ධො දාතංගුපෙතො පරමසිරිධරො භොගවා සංවිභාගී

ලජ්ජී කල්‍යාණමිත්තො අභිරත කුසලො පඤ්චසීලාදි රක්ඛො

අප්පිච්ඡො අප්පකොධො අතිඋජු හදයො ඉද්ධිමා අප්පමෙය්‍යො

පාසංසො පෙමවාචො සුජන ගුණවිදූ මාමකො සො භවෙය්‍යං

ගාථාවල තේරුම:

(1) මේ කුශල බලයෙන් මම මතු භවයේ දී තියුණු නුවණ ඇත්තේ ද, සිහි ඇත්තේ ද, කාමයන්හි තෘප්ති ඇත්තේ ද, ක්‍රියාවෙහි දක්ෂයෙක් ද, දෘෂ්ටිය සෘජු කළ හැකි නුවණ ඇත්තේ ද, වීර්ය ඇත්තේ ද, වස්තු ඇත්තේ ද, දෙන ස්වාභාවය ඇත්තේ ද, තියුණු වූයේ ද, ශූර වූයේ ද, ස්ථිර සිත් ඇත්තේ ද, ආත්මාර්ථ පරාර්ථ සිදු කරන්නේ ද, දීර්ඝ කාලයක් ජීවත් වන්නේ ද, රෝග නැත්තේ ද, වාසනා ඇත්තේ ද, මනා වර්ණ ඇත්තේ ද, පිරිවර ඇත්තේ ද, මහත් වූ කාය බල ඇත්තේ ද, කීර්ති ඇත්තේ ද, ඉවසීමෙන් යුක්ත වන්නේ ද වෙම්වා!

(2) මම මේ ආත්ම භාවයේ දී ම ශ්‍රද්ධාව ඇත්තේ ද, දෙන තැනැත්තකු ගේ අංගවලින් යුක්ත වූයේ ද, උතුම් සිරියා දරන්නේ ද, කාමයන්හි නො ඇලුණේ ද, පාපයට ලජ්ජා ඇත්තේ ද, කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ ද, කුශලයෙහි ඇලුම් ඇත්තේ ද, පඤ්චශීලාදිය රක්නේ ද, ලෝභ නැත්තේ ද, ක්‍රෝධ නැත්තේ ද, ඉතා සෘජු සිත් ඇත්තේ ද, සෘද්ධි ඇත්තේ ද, ප්‍රමාණ කළ නොහෙන ගුණ ඇත්තේ ද, ලෝකයා විසින් පසසනු ලබන්නේ ද, පෙම්වත් කථා ඇත්තේ ද, සත්පුරුෂයන් ගේ ගුණ දන්නේ ද, ගුණවතුන්ට ඇලුම් කරන්නේ ද, වෙම්වා!

පැරුම් පිරීමට උපකාර වන කරුණු පිළිබඳ වූ මෙ බඳු පැතුම් වලින් කුශලය දූෂණය නොවන්නේ බෝධිය හා නිවන ද ඈත් නො වන්නේ ය. දානාදී පාරමී කුශලයන් කළ හැකි වීම පිණිස භවභෝග සම්පත් පැතීමෙන් කුශලය දුබල නොවේ. වඩ වඩා පැරුම් පිරිය හැකිවීම පිණිස සුදුසු භවභෝග පතා කරන කුශලය පාරමී සංඛ්‍යාවට ඇතුළු වේ. පාරමී නොවන්නේ සැප විඳිනු පිණිස භවභෝග සම්පත් පතා කරන කුශලයෝ ය.

දාන සීලාදීන් ගේ හීන මධ්‍යම ප්‍රණීත විභාගය ද මෙහිදී දත යුතු ය. “යස කාමතාය පවත්තිතං හීනං. පුඤ්ඤඵල කාමතාය පවත්තිතං මජ්ඣිමං. කත්තබ්බ මෙවිදන්ති අරියභාවාං නිස්සාය පවත්තිතං පණිතං” යි දැක්වෙන පරිදි කීර්ති ප්‍රශංසා කැමැත්තෙන් පවත්වන දානසීලාදිය හීන ය. ඒ කුශලය පාරමී වනු තබා උසස් ලෙස භවභෝග සම්පත් පවා ගෙන දීමට සමත් නො වේ. පුණ්‍යඵලය ලබා ගැනීමේ ආශාවෙන් කරන්නා වූ කුශලය මධ්‍යම ය. දීමෙන් වඩ වඩා ඵල ලැබෙන ප්‍රතිග්‍රාහකයන් සොයා වඩ වඩා ඵල ලැබීමට දිය යුතු වස්තු තෝරා දෙන - ක්‍රම තෝරා දෙන දානාදිය, පුණ්‍යඵලාශාවෙන් පවත්වන කුශලය ය. එබඳු කුශලය බොහෝ භවහෝග සම්පත් ගෙන දීමට හා ප්‍රණීත භවභෝග සම්පත් ලබාදීමට ද සමත් නමුත් බෝධියට පැමිණවීමට නො සමත් බැවින් පාරමිතා කුශල සංඛ්‍යාවට නො ගැනේ. මෙය මා විසින් කළ යුතුමය යි තමාගේ ආර්ය භාවය නිසා පවත්වන ලද කුශලය ප්‍රණීතය.

තමන් සතු වස්තුව තමන් ම භුක්ති නොවිඳ අන්‍යයන් හා වැළඳීම ආර්‍ය්‍යයන්ගේ සිරිත ය. බාලයෝ තමන් සතු වස්තුව රාක්ෂසාධිගෘහිත විලක් සේ කර ගෙන කිසිවකුට ලංවන්නට නො දී තමන්ම වැළඳීම හෝ රැස්කර තැබීම හෝ කරති. “මා විසින් බාලයන්ගේ මාර්ගය හළ යුතු ය. ආර්‍ය්‍යයන්ගේ මාර්ගය ගත යුතු ය"යි සලකා කීර්ති ප්‍රශංසා ගැන හෝ මතු ලබන භවභෝග සම්පත් ගැන හෝ නො බලා කළ යුතු බව පමණක් සලකා ප්‍රතිග්‍රාහක විභාගයක් නො කොට උසස් පහත් ඇති නැති හැම දෙනාටම ශක්ති පමණින් දීම් වශයෙන් පවත්නා වූ ද, එසේ ම සලකා සිල් රැකීම් ආදී වශයෙන් පවත්නා වූ ද, කුශලය පාරමිතා සංඛ්‍යාවට වැටෙන ප්‍රණීත කුශලය වේ. එබඳු කුශලයෙන් උසස් ලෙස භවභෝග සම්පත් ද ලැබිය හැකි ය. සම්බෝධියට හා නිවනට ද පැමිණිය හැකි ය.

තවත් ක්‍රමයකින් කුශලයන්ගේ හීන මධ්‍යම ප්‍රණීත භාවය මෙසේ දත යුතු. “තණ්හා වසෙන භවභොගත්ථාය පවත්තිතං හීනං අත්තනො විමොක්ඛත්ථාය පවත්තිතං මජ්ඣිමං, සබ්බසත්ත විමොක්ඛත්ථාය පවත්තිනං පාරමිතා සීලං පණීතං”යි දැක්වෙන පරිදි තෘෂ්ණා වශයෙන් භවභෝගාදිය පිණිස කරන කුශලය හීනය. තමාගේ විමුක්තිය (ගැලවීම) පිණිස කරන කුශලය මධ්‍යම ය. සකල සත්ත්වයන්ගේ ම විමුක්තිය පිණිස කරන පාරමිතා කුශලය ප්‍රණීතය. පළමු දැක්වූ ක්‍රමයේ දී මධ්‍යම භාවයට පැමිණෙන කුශලය මේ ක්‍රමයේ දී හීන කුශලය වේ. තමා ගේ විමුක්තිය පිණිස පවත්වන කුශලයට ප්‍රත්‍යේකබුද්ධ, බුද්ධශ්‍රාවකයන් ගේ පාරමිතා කුශලය ගැනේ. මෙහි ප්‍රණීත කුශලය වශයෙන් දක්වන්නේ ලොවුතුරා බුදුවරයන්ගේ පාරමිතා කුශලය ය.

පාරමීහු කවරහු ද යන මේ ප්‍රශ්නය චර්‍ය්‍යාපිටකාර්ථ කථාවෙහි විසඳා තිබෙන්නේ "තණ්හා මාන දිට්ඨිහි අනුපහතා කරුණුපායකොසල්ල පරිග්ගහිතා දානාදයො ගුණා පාරමියො” යනුවෙනි. තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් නො කෙලෙසන ලද කරුණාවෙන් හා උපා දන්නා නුවණින් වැළඳ ගන්නා ලද දානාදි ගුණයෝ පාරමීහු ය යනු එහි තේරුම ය. තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් නො කෙලෙසන ලද බව හා උපා දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද බව හෙවත් උපා දන්නා නුවණින් පවත්වන ලද බව සකල පාරමිතාවන්ට ම සාධාරණ ලක්ෂණ දෙකකි.

කරුණාවෙන් පවත්වන ලද බව වනාහි මහා බෝධිසත්ත්වයන්ගේ පාරමිතාවෙහි විශේෂ ලක්‍ෂණයෙකි. ප්‍රත්‍යේක බෝධිසත්ත්වයන් හා ශ්‍රාවක බෝධිසත්ත්වයන් පැරුම් පුරනුයේ ආත්ම විමෝක්ෂය පිණිස ය. එබැවින් ඔවුන්ගේ පාරමිතාවෙහි කරුණා පාරිගෘහිත භාවය නැත. “චරියාපිටකට්ඨකථාව” මහා බෝධි පාරමිතාව විස්තර කරන ග්‍රන්ථයෙකි. එබැවින් මහාබෝධි පාරමිතාවට ගැලපෙන ලෙස එහි පාරමිතා ලක්‍ෂණය දක්වන ලදැයි සිතිය හැකි ය. මෙය බොහෝ දෙනා අවුල් කරගන්නා තැනකි.

"චර්යාපිකාර්ථ කථාවෙන් කරුණු ගෙන පාරමිතා විස්තරය කරමි'යි ප්‍රතිඥා කොට පාරමිතාවන් විස්තර කරන සාධුවිලාසිනි නම් වූ “සුමංගල විලාසිනි” ටීකාවෙහි පාරමීහු කවරහු ද යන ප්‍රශ්නය විසඳා තිබෙන්නේ “තණ්හා මානාදීහි අනුපහතා කරුණුපාය කොසල්ල-පරිග්ගහිතා දානාදයො ගුණ සංඛාතා එතා ක්‍රියා පාරමීති විභාවිතා” යනුවෙනි. තෘෂ්ණා මානාදියෙන් නො පෙළෙන ලද කිරීමේ උපා දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද හෙවත් පවත්වන ලද දානාදි ගුණයෝ යයි කියන ලද මේ ක්‍රියාවෝ පාරමීහු යයි ප්‍රකාශිතය යනු එහි තේරුම ය. සුමංගල විලාසිනී ටීකාවෙහි පාරමීන් හඳුන්වන හැම තැන ම “කරුණුපාය පරිග්ගහිතා” යන්න යොදා තිබේ. එයින් සිතා ගන්නට තිබෙන්නේ ඒ ආචාර්‍ය්‍යවරයා වෙත තුබුණු චරියා පිටකට්ඨකතාවෙහි ද එය එසේ ම තිබුණු බව ය. දැනට සිංහල අකුරන් මුද්‍රණය වී තිබෙන චරියාපිටකට්ඨ කථාවෙහි පාරමීන් හඳුන්වන සෑම තැන ම “කරුණුපාය කොසල්ල පරිග්ගහිතා” යන පාඨය දක්නා ලැබේ. මෙසේ පිටපත්වල වෙනසක් පෙනෙන බැවින් චරියා පිටකට්ඨකථාව සැකසු ආචාර්‍ය්‍ය ධර්මපාල ස්වාමීන් විසින් එය කෙසේ ලියන ලද ද යන බව නිශ්චය කිරීම දුෂ්කර ය.

ත්‍රිවිධ පාරමිතා

මහාබෝධි පාරමීය, ප්‍රත්‍යේක බෝධි පාරමී ය. ශ්‍රාවක බෝධි පාරමී යයි බෝධීන් ගේ වශයෙන් පාරමීහු ත්‍රිවිධ වෙති. මහා බෝධිය පිණිස පිරිය යුතු පාරමීහු මහාබෝධි පාරමීහුය. ප්‍රත්‍යේක බෝධිය පිණිස පිරිය යුතු පාරමීහු ප්‍රත්‍යේක බොධි පාරමීහු ය. ශ්‍රාවක බෝධිය පිණිස පිරිය යුතු පාරමීහු ශ්‍රාවක බෝධි පාරමීහු ය.

පාරමී සම්පාදන කාලය

එක් සමයෙක් හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ලොවුතුරා බුදුවරයන්ගේ ප්‍රාර්ථනය කෙතෙක් කල් කරන්නට වටනේ දැ"යි විචාළහ. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක් “බුද්ධානං ආනන්ද හෙට්ඨිම පරිච්ඡේදෙන චත්තාරි අසංබෙය්‍යානි කප්පසතසහස්සඤ්ච, මජ්ඣිම පරිච්ඡෙදෙන අට්ඨඅසංබෙය්‍යානි කප්පසතසහස්සඤ්ච් උපරිම පරිච්ඡෙදෙන සොළස අසංබෙය්‍යානි කප්පසතසහස්සඤ්ච” යනුවෙන් “ආනන්දය, බුදුවරුන්ගේ ප්‍රාර්ථනය යටත් පිරිසෙයින් අසංඛ්‍ය සතරක් හා කල්ප ලක්ෂයක් ද, මධ්‍යම පරිච්ඡේදයෙන් අසංඛ්‍ය අටක් හා කල්ප ලක්‍ෂයක් ද, උඩත් පිරිසෙයින් අසංඛ්‍ය සොළසක් හා කල්ප ලක්‍ෂයක් ද කළ යුතු වන්නේ ය"යි වදාළ සේක.

මෙහි ප්‍රාර්ථනය වශයෙන් දක්වන ලදුයේ පැරුම් පුරමින් බුදු බව පැතිය යුතු කාලය ය. ප්‍රඥාව ය, ශ්‍රද්ධාව ය, වීර්‍ය්‍යය ය යන මෙ ධර්ම තුන බුදු බව ලැබීමෙහි බල පවත්වන්නා වූ බුදු බව ලැබීමට අතිශයින් උපකාරී වූ ධර්ම තුනෙකි. ඒ ධර්මයෝ බෝසතුන් කෙරෙහි සම ව නො පිහිටති. එබැවින් ප්‍රඥාධික ය. ශ්‍රද්ධාධිකය, වීර්‍ය්‍යාධිකය යි බෝසත්හු තිදෙනෙක් වෙති. ප්‍රඥාධික බෝසත්නට ශ්‍රද්ධාව මඳය. වීර්‍ය්‍යය මධ්‍යම ය. ශ්‍රද්ධාධික බෝධිසත්ත්වයනට ප්‍රඥාව මධ්‍යම ය. වීර්‍ය්‍යය මඳ ය. වීර්‍ය්‍යාධික බෝධිසත්ත්වයනට ප්‍රඥාව මඳය. ශ්‍රද්ධාව මධ්‍යම ය. ප්‍රඥාධික බෝධිසත්ත්වයෝ චතුරසංඛ්‍යය කල්ප ලක්‍ෂයකින් සම්බෝධියට පැමිණෙති. ශ්‍රද්ධාධික බෝධිසත්ත්වයෝ අෂ්ටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් සම්බෝධියට පැමිණෙති. වීර්‍ය්‍යාධික බෝධිසත්ත්වයෝ ෂෝඩාශාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් සම්බෝධියට පැමිණෙති.

අන්තඃකල්පය ය, අසංඛ්‍ය කල්පය ය, මහා කල්ප යයි කල්ප තෙවැදෑරුම් වේ. පැරුම් පිරීමේ කාල ප්‍රමාණය ගනුයේ මහා කල්පවලිනි. එය අති දිර්ඝ කාලයෙකි. එහි ප්‍රමාණය උපමාවෙන් මිස වර්ෂ සංඛ්‍යා වලින් නො දැක්විය හැකි ය. දිග පුළුලින් හා ගැඹුරෙන් යොදුන බැගින් ඇති කොටුවක පිර වූ අබවලින් සිය වසකට එක අබ ඇටය බැගින් ගන්නා කල්හි ඒ කොටුවේ අබ හිස්වීමට ගතවන කාලය කෙටි බවත් කල්පය දිග බවත් බුදුන් වහන්සේ වදාළ සේක.

අසංඛ්‍ය යනු ගණන් අතුරෙන් වැඩි ම ගණන ය. ඒ මෙසේ දතු යුතු. ලක්‍ෂ සියය කෝටිය ය. කෝටි ලක්‍ෂ සියය ප්‍රකෝටිය. ප්‍රකෝටි ලක්‍ෂ සියය නහුතය ය. නහුත ලක්‍ෂ සියය නින්නහුත ය ය. නින්නහුත ලක්‍ෂ සියය අක්ෂෝභිණිය ය. අක්ෂෝභිණි ලක්‍ෂ සියය බින්දුව ය. බින්දු ලක්‍ෂ සියය අබ්බුදය ය. අබ්බුද ලක්‍ෂ සියය නිරබ්බුද ය ය. නිරබ්බුද ලක්‍ෂ සියය අහහය ය. අහහ ලක්‍ෂ සියය අබබය ය. අබබ ලක්‍ෂ සියය අටටය ය. අටට ලක්‍ෂ සියය සෝගන්ධිකය ය. සෝගන්ධික ලක්‍ෂ සියය උප්පලය ය. උප්පල ලක්‍ෂ සියය කුමුදය ය. කුමුද ලක්‍ෂ සියය පුණ්ඩරිකය ය. පුණ්ඩරික ලක්‍ෂ සියය පදුමය ය. පදුම ලක්‍ෂ සියය කථානය ය. කථාන ලක්‍ෂ සියය මහා කථානය ය. මහා කථාන ලක්‍ෂ සියය අසංබෙය්‍යය ය. මෙය සංඛ්‍යා ක්‍රමය පිළිබඳ එක් ආචාර්‍ය්‍ය මතයෙකි. තවත් ආචාර්‍ය්‍ය වරයන් විසින් මෙයට වෙනස් ලෙස ද සංඛ්‍යා ක්‍රමය දක්වා තිබේ.

චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂාදි වශයෙන් දැක්වෙන කාලයන් පිරිසිඳිනුයේ අභිනීහාරයේ පටන් ය.

අභිනීහාරය

"ඉමිනා මෙ අධිකාරෙන කතෙන පුරිසුත්තමෙ

සබ්බඤ්ඤුතං පාපුණාමි තාරෙමි ජනතං බහුං”

යනුවෙන් “මා විසින් පුරුෂෝත්තමයා කෙරෙහි කරන ලද මේ අධිකාරයෙන් සර්වඥත්වයට පැමිණෙන්නෙමි, බොහෝ ජනයා සසරින් එතර කරවන්නෙමි” යි සුමේධ පණ්ඩිතයන් වහන්සේ දීපංකර බුදුන් වහන්සේ ඉදිරියේ පැතුවාක් මෙන් ලොවුතුරා බුදු කෙනෙකුන් ඉදිරියේ ප්‍රථම කොට බුදුබව පැතීම අභිනීහාර නමි. බුද්ධත්වය පිණිස කරන අභිනීහාරය අෂ්ටාංගයකින් යුක්ත විය යුතුය.

“මනුස්සත්තං ලිංගසම්පත්ති හෙතු සත්ථාර දස්සනං

පබ්බජ්ජා ගුණසම්පත්ති අධිකාරො ච ඡන්දතා

අට්ඨධම්ම සමොධානා අභිනීහාරො සමිජ්ඣති”

යනුවෙන් ඒ අෂ්ටාංගය දක්වා තිබේ. (1) මනුස්සත්ත, (2) ලිංගසම්පත්ති, (3) හේතු, (4) සත්ථාර දස්සන, (5) පබ්බජ්ජා, (6) ගුණසම්පත්ති, (7) අධිකාර, (8) ඡන්දතා යනු ඒ අංගයෝ ය.

(1) මෙහි මනුස්සත්ත යනු මිනිස් බව ය. දේව බ්‍රහ්මාදිහු බුදු නො වෙති. බුදු වන්නේ මනුෂ්‍යයෙක් ම ය. එබැවින් ප්‍රථම ප්‍රාර්ථනය මිනිස් ජාතියේ සිට කළ කල්හි ප්‍රාර්ථනය සිදු වේ. අන් ජාතියක සිට කිරීමෙන් සිදු නොවේ.

(2) ලිංගසම්පත්ති යනු පිරිමි බවය. පිරිමියකු මිස ගැහැනියක් කවදාවත් බුදු නොවේ. එබැවින් ස්ත්‍රී නපුංසක පණ්ඩකාදීන් ව සිට කරන ප්‍රාර්ථනය සිදු නොවේ. ප්‍රථම ප්‍රාර්ථනය පුරුෂත්වයේ සිට ගෙන ම කළ යුතු ය. බුදු බව පතනු කැමති ස්ත්‍රීන් විසින් පිරිමි බව පතා පින් කොට පිරිමියකු වී බුදු බව පැතිය යුතුය.

(3) හේතුය යනු ඒ ජාතියේදී ම උත්සාහ කළහොත් රහත් විය හැකි තරමට ඇත්තා වූ පෙර පින ය. සුමේධ පණ්ඩිතයන් වහන්සේට මෙන් ඒ ජාතියේ ම රහත් වීමට තරම් පින් ඇතියකුට ම අභිනීහාරය සමෘද්ධ වේ. සෙස්සන්ට නොවේ.

(4) සත්ථාරදස්සන යනු ලොවුතුරා බුදුවරයකු හමු වීම ය. සුමේධ පණ්ඩිතයන් වහන්සේ දීපංකර බුදුන් වහන්සේ හමුවෙහි බුදුබව පැතුවාක් මෙන් ලොවුතුරා බුදුවරයකු හමුවේදී ම බුදු බව පැතිය යුතු ය. අනිකකු හමුවේ කරන පැතීම සිදු නො වේ.

(5) පබ්බජ්ජා යනු පැවදි බව ය. බුදු බව පතන්නා විසින් බුදුසස්නෙහි ම හෝ පින් පව් හා පින් පව්වල විපාකය ඇති බව පිළිගන්නා වූ තාපස නිකායක හෝ පැවිදිව එය පැතිය යුතුය. ගිහිව සිටි පැතීමෙන් නො ලැබේ. බුදුවන්නෝ ද පැවිද්දෝ ම ය. ගිහියෝ බුදු නො වෙති.

(6) ගුණසම්පත්ති යනු ධ්‍යානාදි ගුණ ඇති බව ය. පැවිද්දන් ගෙන් ද ධ්‍යානාදි ගුණ ඇති ව පතන්නා හට ම බුදු බව ලැබේ. සෙස්සන්ට නො ලැබේ.

(7) අධිකාර යනු අධික වූ පරිත්‍යාගය ය. සුමේධ පණ්ඩිතයන් මෙන් බුදුවරයකුට ජිවිතාදිය පරිත්‍යාග නො කොට බුදුබව පතන්නා ගේ ප්‍රාර්ථනය සිදු නොවේ. එබඳු මහා පරිත්‍යාගයක් කිරීමට නො සමත් තැනැත්තන් ගේ ප්‍රාර්ථනය සිදු නොවේ. සුමේධ පණ්ඩිතයෝ වනාහි,

“අක්කමිත්වාන මං බුද්ධෝ සහ සිස්සෙහි ගච්ඡතු

මා නං කලලෙ අක්කමිත්ථො හිතාය මෙ භවිස්සති”

යනුවෙන් දැක්වෙන පරිදි “බුදුන් වහන්සේ ශිෂ්‍යයන් සමඟ මා පාගා යෙත්වා! උන්වහන්සේ මඩ නො මඩිත්වා! එය මට යහපත පිණිස වන්නේය” යි දීපංකර බුදුන් වහන්සේට දිවි පුදා බුදුබව පැතුහ.

(8) ඡන්දතා යනු මහත් වූ ඡන්දයක් හෙවත් බුදුවීම පිළිබඳ මහත් ඕනෑකමක් ඇති බවය. බලවත් ඡන්දය යි කියනුයේ චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි නරකයෙහි පැසීමෙන් බුදුබව ලැබේ නම් එයට ද නො පැකිල ඉදිරිපත් විය හැකි වන තරමේ බලවත් ඕනෑකමකට ය. එපමණ මහත් ඡන්දයකින් පතන්නා හට ම ප්‍රාර්ථනය සිදු වේ. මන්ද ඡන්දයෙන් පතන්නා හට ප්‍රාර්ථනය සිදු නො වේ.

මේ කරුණු අටින් යුක්ත නොවී බුදු බැව් පතන්නවුන් ගේ බුදුවීමේ අදහස ස්ථීර නො වේ. ඔවුන් ගේ බුදුවීමේ බලාපොරොත්තු භවාන්තරයේ දී නැති වී යා හැකි ය. එබැවින් ලොවුතුරා බුදුවරයෝ ඔවුනට නියත විවරණය නො දෙන්නාහ. විවරණය දීම ය යනු අසවල් කාලයේ දී අසවල් නාමයෙන් අසවල් වෘක්ෂය මුල දී ලොවුතුරා බුදු බවට පැමිණෙන්නේය යි ප්‍රකාශ කිරීම ය. අෂ්ඨ ධර්ම සමෝධානයෙන් බුදුබව පතන තැනැත්තා ගේ බුදුවීමේ බලාපොරොත්තුව බුදුවන තුරු ම නැති නොවේ. අෂ්ටාංග සමෝධානයෙන් කරන අභිනීහාර නම් වූ කුශල චිත්තය ඉපදීමෙන් පසු ඒ පුරුෂ තෙමේ නො නැවතී ම සම්බෝධියට යන්නෙක් වේ. මහා බෝධි යානයට නැගුණේ වේ. මහා බෝධිසත්ත්ව යන නාමයට හිමියෙක් වේ. එබැවින් අෂ්ටාංග සමෝධානයෙන් බුදුබව පතන මහා පුරුෂයන්ට ම බුදුවරයෝ නියත විවරණ දෙන්නාහ.

අභිනීහාරය මුදුන් පමුණුවා ගත් මහා බෝසත්හු ඉන්පසු අටළොස් අභව්‍යස්ථානයන්ට නො පැමිණෙන්නාහු ය. බුද්ධ භූමි සතරින් ද, මහාබෝධි සත්වධ්‍යාශය සයෙන් ද, සතර සම්පත්තියෙන් ද යුක්ත වන්නාහ.

අභව්‍යස්ථාන අටළොස

අභිනීහාරය මුදුන් පත් කර ගැනීමෙන් නියත විවරණ ලැබූ මහබෝසත්හු ඉන්පසු ලොවුතුරා බුදුබවට පැමිණෙන තුරු ජාත්‍යන්ධයෝ නො වන්නාහ. ජාතියෙන් බිහිරෝ නොවන්නාහ. උමතු නො වන්නාහ. කෙළ තොලු නො වන්නාහ. පිළු නො වන්නාහ. ප්‍රත්‍යන්තයෙහි නූපදනාහ. දාසීන් කුස නූපදන්නාහ. නියත මිථ්‍යාදෘෂ්ටික නො වන්නාහ. ඔවුන්ගේ ලිංගය පරිවර්තනය නො වන්නේය. ආනන්තර්‍ය්‍ය කර්ම නො කරන්නාහ. කුෂ්ට රෝගීහු නොවන්නාහ. තිරිසන් ජාතියෙහි වටුවාට කුඩාව ද ඇතුට මහත්ව ද නූපදනාහ. ඛුප්පිපාසිකය - නිජ්ඣාම තණ්හිකය යන ප්‍රේතයෝනිවලට නො පැමිණෙන්නාහ. කාලකඤ්ජික අසුර නිකායට නො පැමිණෙන්නාහ. ලෝකාන්තරික නරකයට හා අවීචි මහා නරකයට නො පැමිණෙන්නාහ. කාම ලෝකයෙහි මාර නොවන්නාහ. රූප ලෝකයෙහි අසංඥ සුද්ධාවාස භුමීන්හි නූපදනාහ. අරූප ලෝකයේ නුපදනාහ. අන් සක්වළවල නූපදනාහ. මෙය ලියන ලද්දේ සුත්‍රනිපාත අපදාන අටුවාවල දැක්වෙන සැටියට ය. මෙහි කරුණු අටළොසකට වඩා ඇති සේ පෙනේ. (විමසිය යුතු)

බුද්ධ භූමි සතර

උත්සාහය, උම්මග්ගය, අවත්ථානය, හිතචරියාය යන මොහු බුද්ධ භූමීහු ය. මෙහි උත්සාහ යනු දානාදි ක්‍රියා විෂයෙහි නො පසුබස්නා වූ ඉදිරියට ම යන්නා වූ ස්වභාවය ය. උම්මග්ග යනු පැරුම් පිරීමේ නො වරදින උපායයන් දැනීමෙහි සමර්ථ වූ තියුණු වූ ප්‍රඥාව ය. අවත්ථාන යනු කොතෙක් බාධා පැමිණියත් කොතෙක් අමාරුකම් පැමිණියත් පවත්වා ගෙන යන දානාදි ක්‍රියා විෂයෙහි, පවත්වා ගෙන යන ප්‍රතිපත්තියෙහි නො සැලී සිටීම ය. හිතචරියා යනු තමන්ට වරද කරන්නා වූ සත්ත්වයන් ද නො හැර සකල සත්ත්වයන් කෙරෙහි ම මෛත්‍රිය හා කරුණාව පැවැත්වීම ය. බුදුවීමට සෑහෙන පමණ පින් රැස් කිරීම ඉතා ම දුෂ්කර කාර්‍ය්‍යයෙකි. කියන ලද කරුණු සතරෙහි නො පිහිටියවුන්ට පාරමිතාව සම්පූර්ණ නො කළ හැකි ය. පැරුම් පිරීමට අතිශයින් උපකාරක බැවින් මේ කරුණු සතර බුද්ධභූමි නම් වේ.

මහා බෝධිසත්ත්වයන් ගේ අද්ධ්‍යාශය සය

නෙක්ඛම්මජ්ඣාසය ය, පවිවේකජ්ඣාසය ය, අලෝහජ්ඣාසය ය අදෝසජ්ඣාසය ය, අමෝහජ්ඣාසය ය, නිස්සරණජ්ඣාසය ය යන මේ සදෙන මහාබෝධි සත්ත්වාධ්‍යාශයයෝ ය. ගස්වල ස්ථීර පැවැත්මට ඒවායේ අරටුව උපකාර වන්නාක් මෙන් ම මහ බෝසත්නට බෝධිචර්‍ය්‍යාවෙහි ස්ථිර ව පිහිටා සිටීමට මේ අධ්‍යාශය ධාතු සය අතිශයින් උපකාර වේ. අරටුව නැති ගස මඳ සුළඟක් හැමූ විට බිඳ වැටෙන්නාක් මෙන් අධ්‍යාශය ධාතු නමැති හරය බෝසතුන් ගේ සන්තානයෙහි නො වේ නම් ඔවුහු කලෙක දී බෝධිචර්‍ය්‍යාවෙන් පහවන්නාහ. සම්බෝධිය දක්වා නොයන්නාහ.

නෙක්ඛම්මජ්ඣාසය යනු ගිහිගෙයින් බැහැර වීමේ අදහස ය. මහබෝසත්හු කාමයන් කෙරෙන් හෙවත් ගිහිගෙයින් නික්මෙන අදහස් ඇත්තෝ ය. ගිහිගෙයි විසීමේ දෝෂ දක්නෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය ධාතුව නැමැති අරටුව ස්වසන්තානයෙහි ඇත්තා වූ මහ බෝසත්හු ගැඹුරු දියේ ගිල්වා බැඳ තිබූ සිදුරු නැති ලබු කැට වැනියහ. දිය යට තිබෙන සිදුරු නැති ලබු කැටයේ ස්වභාවය දියෙන් මතු වන බව ය. එය දිය යට පවත්නේ උඩට ඇදී ගෙන ම ය. බැම්මෙන් මිදුණු වහා ම එය ජලය මතුවට පැමිණෙන්නේ ය. එමෙන් නෛෂ්ක්‍රම්‍යධාතු සාරය අභ්‍යන්තරයෙහි ඇති ව ගිහි ගෙයි පස්කම් සැප විඳිමින් සිටින මහබෝසත්හු කරුණක් ඉදිරිපත් වූ වහා ම ධනය හැර අඹුදරුවන් හැර ඥාති මිත්‍රයන් හැර රජකම් පවා හැර පැවිදි වන්නාහ.

මහබෝසත් මහා ජනක රජතුමාට අඹගස් දෙක දැකීමෙන් රජය හැර පැවිදි විය හැකි වූයේ එතුමා කෙරෙහි නෛෂ්ක්‍රම්‍ය ධාතු සාරය තුබූ නිසා ය. නෛෂ්ක්‍රම්‍ය ධාතුව සන්තානයෙහි නැතියවුන්ට විශාල සම්පත්තීන් තබා රුපියලක් දෙකක් වටනා දෙයකුදු නො හළ හැකි ය. ඔවුහු ගැඹුරු දිය යට තිබෙන ගල්කැට වැනිය හ. දිය යට තිබෙන ගල්කැටය යටට ම බර වී තිබෙන්නාක් මෙන් ඔවුහු කාමයන්හි ම ගැලී සිටින්නාහ.

පවිවේකජ්ඣාසය යනු විවේක ගැනීමේ අදහස ය. විවේකයට කැමැත්ත ය. මහබෝසත්හු විවේක ගන්නා අදහස් ඇත්තෝ ය. පුත්‍රදාර ඥාතිමිත්‍රාදීන් පිරිවරා ගෙන ඔවුන් මැද වීසීමේ දොස් දක්නෝ ය. විවේකාධ්‍යාශ ධාතුව සන්තානයෙහි නැත්තා වූ පුත්‍රදාර ඥාතිමිත්‍රාදීන් පිරිවරාගෙන ඔවුන් හා ගැටි ගැටී සීටීමේ තෘෂ්ණාව ඇති තැනැත්තාහට පිරිසෙන් බැහැර ව නො විසිය හැකි ය. විවේකයට පැමිණියේ ද හේ ඒ තෘෂ්ණාවෙන් නැවතත් ඥාති මිත්‍රාදීන් කරා පමුණුවනු ලබන්නේ ය. විවේකයට සතුටක් ඔහුට නැත. විවේකය ඔහුට සිර ගෙයක් වැනිය.

මහාබෝසත්නට අරණ්‍ය - වෘක්ෂමූලාදියට පැමිණ පුත්‍රදාරා ඥාති-මිත්‍රාදීන්ගෙන් වෙන් ව එකලාව විසිය හැකි වන්නේ අභ්‍යන්තරයෙහි ඇති පවිවේකජ්ඣාසය ධාතුව නිසාය. සිරගෙයි ලා සිටින තැනැත්තා ඉන් පිට වුවහොත් ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු වහා සොයා නැවතත් සිරගෙයි හිඳුවන්නාක් මෙන් පවිවේකජ්ඣාසය ධාතු සාරය සන්තානයෙහි ඇති තැනැත්තා ජනයා අතරට පැමිණියේ ද ඒ පවිවේකජ්ඣාසය ධාතුවෙන් නැවත විවේකස්ථානයට ම ගෙන යනු ලබන්නේ ය.

අලෝභජ්ඣාසය යනු ලෝභයට ප්‍රතිපක්ෂ වූ අදහස ය. මහබෝසත්හු අලෝභාධ්‍යාශය ඇත්තෝ ය. ලෝභයේ දොස් දක්නෝ ය. සන්තානයෙහි අලෝභාධ්‍යාශ ධාතුව නැත්තා වූ තැනැත්තා හට ශතයක් දෙකක් වටනා දෙයක් පරිත්‍යාග කිරීමත් බර වැඩෙකි. අලෝභාධ්‍යාශය ඇති බැවින් මහ බෝසත්තනට පහසුවෙන් ම ධනය පරිත්‍යාග කළ හැකිය. රාජ්‍යයන් පරිත්‍යාග කළ හැකි ය. අඹුදරුවන් පරිත්‍යාග කළ හැකිය. ශරීරාවයවයන් පරිත්‍යාග කළ හැකිය. ජීවිතය ද පරිත්‍යාග කළ හැකි ය. අලෝභාධ්‍යාශ නැමැති ධාතු සාරය සන්තානයෙහි ඇති බෝසත්නට අමාරුව දන් දීම නො ව දන් නොදී විසීම ය.

අදෝසජ්ඣාසය යනු ද්වේෂයට ප්‍රතිපක්ෂ වූ අදහස ය. මහ බෝසත්හු අද්වේෂාධ්‍යාශය ඇත්තෝ ය. ද්වේෂයේ දොස් දක්නෝ ය. අද්වේෂාධ්‍යාශය නැත්තෝ සුළු කරුණකට ද තදින් කිපෙති. අද්වේෂාධ්‍යාශ ධාතුව සන්තානයෙහි පිහිටියා වූ මහ බෝසත්හු තමන් ගේ ජීවිතයට අනතුරු කරන්නා කෙරෙහි පවා නො කිපෙති.

අමෝහජ්ඣාසය යනු මෝහයට ප්‍රතිපක්‍ෂ වූ අදහස ය. මහ බෝසත්හු අමෝහාධ්‍යාශ ඇත්තෝ ය. මෝහයේ දෝෂ දක්නෝ ය. අමෝහාධ්‍යාශය ධාතුව සන්තානයෙහි නො පිහිටි සත්ත්වයනට හොඳ නරක කළ යුත්ත නො කළ යුත්ත දැන ගැනීමට දුෂ්කර ය. ස්කන්ධාදි ධර්මයන් ගේ තතු අනුන් කියනු ඇසුයේ ද ඔවුනට නො වැටහේ.

නිස්සරණජ්ඣාසය යනු සංසාර දුඃඛයෙන් මිදීමේ අදහස ය. මහබෝසත්හු නිශ්ශරණාද්ධ්‍යාශය ඇත්තෝය. භවයේ හෙවත් සංසාරයේ දොස් දක්නෝය, නිශ්ශරණාද්ධ්‍යාශය ධාතුව සන්තානයෙහි නො පිහිටි පුද්ගලයන් කෙරෙහි භව තණ්හාව තදින් පවතී. එයින් ඔවුනට විදර්ශනා භාවනාදී භවයෙන් මිදීමේ පිළිවෙත්හි යෙදීමට අවකාශ නො දෙනු ලැබේ. ඔවුහු භව සම්පත්තිය පතා සංසාරය දික් වන පින් කම් පමණක් කරති. තෘෂ්ණාවෙන් දූෂණය වන බැවින් ඔවුන්ගේ කුශලයෝ පාරමී සංඛ්‍යාවට නො පැමිණෙති.

සම්පත්ති සතර

ඉන්ද්‍රිය සම්පත්තියය, ප්‍රතිපත්ති සම්පත්තිය ය, කෞශල්‍ය සම්පත්තිය ය, අධ්‍යාශය සම්පත්තිය ය යන මේ කරුණු සතර ප්‍රත්‍යේක බෝධිසත්ත්ව ශ්‍රාවක බෝධිසත්ත්වයන්ට නැති, මහා බෝධි සත්ත්වයන්ට පමණක් ඇති විශේෂ කරුණු සතරෙකි. මේ කරුණු සතරින් ප්‍රත්‍යේක බෝධිසත්ත්ව ශ්‍රාවක බෝධිසත්ත්වයන්ගේ හා මහා බෝධිසත්ත්වයන්ගේ මහත් වෙනසක් ඇත්තේ ය.

ඉන්ද්‍රිය සම්පත්තිය යනු සද්ධින්ද්‍රිය ය,විරියින්ද්‍රිය ය, සතින්ද්‍රිය ය, සමාධින්ද්‍රිය ය, පඤ්ඤින්ද්‍රිය ය යන පසක් වූ ඉන්ද්‍රිය ධර්මයන් ගේ දියුණු තියුණු බව ය. ශ්‍රද්ධාව වුවමනා තැන දී මහ බෝසත්නට එය බලවත්ව ඇති වේ. ශ්‍රද්ධාවෙන් කළ යුත්තක් කිරීමේදී මහ බෝසතුන්ගේ ශ්‍රද්ධාව කිසි කලෙක දුබල නොවේ. නො හැකිළේ. විර්‍ය්‍යය වුවමනා තැන දී මහ බෝසතුන්ට එය බලවත් ව ඇති වේ. වීර්‍ය්‍යයෙන් සිදුකළ යුක්තක් කිරීමේ දී ඔවුන් ගේ වීර්‍ය්‍යය කිසි කලෙක දුබල නොවේ. නො හැකිළේ. සිහිය වුවමනා තැන දී බලවත් වූ සිහිය මහ බෝසත්නට ඇති වේ. සිහියෙන් කළ යුක්තක් කිරීමේ දී එය කිසි කලෙක දුබල නොවේ. නො හැකිළේ. සමාධිය වුවමනා තැනදී මහ බෝසත්නට බලවත් සමාධිය ඇති වේ. සමාධියෙන් කළ යුත්තක් සිදු කිරීමේ දී කිසි කලෙක එය දුබල නොවේ. නො හැකිළේ. ප්‍රඥාව වුවමනා තැන දී මහ බෝසත්නට අතිශයින් තියුණු වූ සුවිශද ප්‍රඥාව ඇති වේ. ප්‍රඥාවෙන් සිදු කළ යුත්තක් සිදු කිරීමේදී එය කිසි කලෙක මොට නො වේ. නො හැකිළේ. එබඳු ඉන්ද්‍රිය සම්පත්තියක් ප්‍රත්‍යේක බෝධි සත්ත්වයනට හා ශ්‍රාවක බෝධි සත්ත්වයනට නැත.

ප්‍රතිපත්ති සම්පත්තිය යනු ආත්මාර්ථය නො බලා ම පරාර්ථ සාධනයෙහි යෙදෙන බව ය. මහ බෝසතුන් පරාර්ථය පිණිස ක්‍රියා කරන්නාක් මෙන් ප්‍රත්‍යේක බෝධිසත්ත්ව ශ්‍රාවක බෝධිසත්ත්වයෝ පරාර්ථ සාධනයෙහි නො යෙදෙති. මහ බෝසත්හු ආත්මාර්ථය තබා පරාර්ථය පිණිස ක්‍රියා කරති. එසේ කිරීමේ දී ප්‍රත්‍යුපකාරයක් ද ඔවුහු බලාපොරොත්තු නො වෙති. අසවලා මට මේ මේ දෙය කළේ යයි කළ උපකාරය කියවා ගැනීමේ බලාපොරොත්තුව ද බෝසත්නට නැත. ඔවුහු තමන්ට වරද කරන්නා වූ අසත් පුරුෂයන්ට ද වරද නො සලකා උපකාර කරති. සමහරවිට උපකාර ලබන තැනැත්තාගෙන් පීඩා ලබමින් ම ද ඔහුට උපකාර කරති. දානශීලාදි කුශල ක්‍රියා කිරීමේ දී ද ඔවුහු ඉන් ලබන ඵලයක් නො පතා, නිවන් නොපතා, සත්ත්වයන් දුකින් මුදවනු පිණිස සර්වඥත්වය ම පතති. මේ මහා බෝසතුන් ගේ ප්‍රතිපත්ති සම්පත්තිය ය.

කෞශල්‍ය සම්පත්තිය යනු තැනට සුදුසු නුවණ ඇති බවය. තැනට සුදුසු නුවණ ප්‍රත්‍යේක බෝධිසත්ත්ව ශ්‍රාවක බෝධි සත්ත්වයනට ද ඇතත් මහා බෝසත්නට සේ නැත. කොතරම් ගැඹුරු පැනයක් වුවත් විසඳා ගැනීමට ද, කොතරම් දුෂ්කර දෙයක් වුවත් සිදු කිරීමට ද නො වරදිනා නුවණක් මහ බෝසත්නට ඒ ඒ කරුණුවලදී ඇති වේ. එය මහබෝසතුන්ගේ කෞශල්‍ය සම්පත්තිය ය.

අධ්‍යාශය සම්පත්තිය යනු පැරුම් දහම් පිරීමේ බලවත් අදහස ය. එය දශපාරමීන් ගේ වශයෙන් ම විස්තර කළ යුතු ය. මහ බෝසත්හු බලවත් වූ දානාධ්‍යාශය ඇත්තෝ ය. එතුමෝ දෙන්නට දෙයක් ඇතහොත් දෙත් ම ය. දීම ඔවුන්ගේ ප්‍රීතියට කරුණෙකි. දෙන්නා වූ ඔවුහු ආදරයෙන් ම දෙති. ගෞරවයෙන් ම දෙති. තමන්ට ඉතිරි කර ගැනීමේ බලාපොරොත්තුවක් නැතිව ඇති තාක් වුව ද දී ප්‍රතිග්‍රාහකයන්ගේ මනදොළ පුරවති. ප්‍රතිග්‍රාහකයනට වුවමනා දෙය හැර අනෙකක් දී රැවටීමේ සිරිත ඔවුනට නැත. ප්‍රතිග්‍රාහකයාගේ මුහුණ බලා මොහු ගුණ හීනයෙක, මොහුට දීමෙන් පලක් නැතය යි ඇතමුන්ට මඳ කොට දීමේ හා ඇතැමුන්ට බොහෝ කොට දීමේ සිරිත බෝසතුන්ට නැත. සෑම දෙනා ගේ මනදොළ පිරවීම මහා බෝසතුන්ගේ අදහස ය. එතුමෝ දීමෙහි අනුසස් කියා අන්‍යයන් ද දීමෙහි යොදවති. අන්‍යයන් ගේ දීම් දැක සතුටු වෙති. මේවා මහ බෝසතුන් ගේ දාන පාරමිතා ලකුණු ය. ඉන්ද්‍රිය සම්පත්ත්‍යාදි කියන ලද කරුණු සතර මහබෝසතුන් හැඳින ගැනීමේ ලකුණු ය. එබැවින් ඒ ධර්මයෝ මහා බෝධිසත්ත්ව ලිංග නමුදු වෙති.

මහ බෝසතුන් කෙරෙහි පිහිටන ආශ්චර්‍ය්‍යද්භූත කරුණු සතර

අනේකානිසංසයන් ඇත්තා වූ ද, අනේක ගුණ විශේෂයන්ට කරුණු වූ ද, මහ බෝසතුන්ගේ අෂ්ටාංග සමන්වාගත අභිනීහාරය නිසා එතුමන් කෙරෙහි පිහිටන ආශ්චර්‍ය්‍යාද්භුත කරුණු සතරෙකි. මහ බෝසත්හු සකල සත්ත්ව සමූහය ම තමන්ගේ ප්‍රිය පුත්‍ර සමූහයක් සේ දකිති. සලකති. එය මහ බෝසතුන් ගේ එක් ආශ්චර්‍ය්‍ය අද්භූත කරුණකි. දරුවන් ඇතියවුන් ගේ සිත පුත්‍ර තෘෂ්ණාවෙන් කිලිටි වේ. මුළු ලෝකය ම දරු කොට සලකන මහ බෝසතුන් ගේ සිත කිසි කලෙක පුත්‍ර තෘෂ්ණාවෙන් කිලිටි නොවේ. එය මහ බෝසතුන්ගේ එක් ආශ්චර්‍ය්‍යාද්භූත කරුණෙකි. සත්ත්වයනට යහපත ඇති කරන්නා වූ සැපත ඇති කරන්නා වූ අදහස හා උත්සාහය ද මහ බෝසතුන්ට බලවත් ලෙස ඇති වේ. එයින් දිනෙන් දින පාරමීහු වැඩෙති. මහා පුණ්‍යස්කන්ධයක් රැස්වීමෙන් මහ බෝසත්හු අන්‍ය සත්ත්වයන් විසින් ගරු බුහුමන් කළ යුතු වූ අසදෘශ පුණ්‍යක්ෂේත්‍රයක් වේ. එය මහ බෝසතුන්ගේ එක් ආශ්චර්‍ය්‍යාද්භූත කරුණෙකි.

ප්‍රත්‍යේක බෝධි පාරමිතාව

ප්‍රත්‍යේක බෝධි සත්ත්වයන් ගේ පාරමිතාව කොතෙක් කල් පිරිය යුතු වේ දැයි විචාළ ආනන්ද ස්ථවිරයන් වහන්සේට තථාගතයන් වහන්සේ “පච්චේක බුද්ධානං ද්වෙ අසංබෙය්‍යානි කප්පසතසහස්සං ච තතො ඔරං න සක්කා” යි “ආනන්දය, පසේ බුදුවරයන් කල්ප අසංඛ්‍ය දෙකක් හා ලක්ෂයක් ද පෙරුම් පිරිය යුතු වන්නේ ය. ඉන් මොබ ප්‍රත්‍යේක සම්බෝධියට නො පැමිණිය හැක්කේ යයි වදාළ සේක. ඒ කාලය පිරිසිඳිනුයේ ද අභිනීහාරයේ පටන් ය. පසේ බුදුවරයන් ගේ අභිනීහාරය (ප්‍රථම ප්‍රාර්ථනය) කරුණු පසකින් යුක්ත විය යුතුය.

“මනුස්සත්තං ලිංග සම්පත්ති විගතාසව දස්සනං,

අධිකාරො ඡන්දතා එතෙ අභිනීහාරස්ස කාරණා”

මිනිසත් බවය, ලිංග සම්පත්තිය ය, ක්ෂිණාශ්‍රව දර්ශනය ය, අධිකාරය ය, බලවත් ඡන්දය ය යන මේවා අභිනීහාරයේ දී සම්පූර්ණ විය යුතු කරුණු ය. ක්ෂීණාශ්‍රව දර්‍ශනය යනු බුදු පසේබුදු - රහත් උතුමන් ගෙන් කවරකු හෝ දැකීම ය. ප්‍රථම ප්‍රාර්ථනය සියලු කෙලෙසුන් නැසූ කවරකු සමීපයේ කෙළේ ද සිදු වේ.

ශ්‍රාවක බෝධි පාරමිතාව

ශ්‍රාවක බෝධි පාරමිතා කොතෙක් කල් පිරිය යුතු වන්නේ දැයි ආනන්ද ස්ථවිරයන් වහන්සේ විචාළ කල්හි බුදුන් වහන්සේ වදාරන සේක් : “ද්වින්නං අග්ග සාවකානං එකං අසංඛෙය්‍යං කප්පසතසහස්සං ච අසීති මහාසාවකානං කප්පසතසහස්සං තථා බුද්ධස්ස මතාපිතුන්නං උපට්ඨාකස්ස පුත්තස්ස” යි අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනාගේ පාරමිතාව එක් අසංඛ්‍යයක් හා කල්ප ලක්ෂයක් ද, අසූ මහා ශ්‍රාවකයන්ගේ පාරමිතාව කල්ප ලක්ෂයක් ද, එ පමණ ම කලක් බුදුන්ගේ මාපියන් ගේ හා අග්‍ර උපස්ථායකයා ගේ ද පුත්‍රයා ගේ ද පාරමිතාව පිරිය යුතු වේ යයි වදාළ සේක. අග්‍ර ශ්‍රාවකාදීන් ගේ අභිනීහාරය “අධිකාරය, ඡන්දතාය” යන අංග දෙකින් යුක්ත වූ කල්හි සමෘද්ධ වන බව දක්ව තිබේ.

අග්‍ර ශ්‍රාවක මහ ශ්‍රාවකාදීන් ගේ ප්‍රාර්ථනය සිදුවීම පිළිබඳ ව කියන ලද කාල නියමය ස්ථීර වූවක් නොවේ. ශ්‍රාවක බෝධියට පැමිණිය හැකි වීමට ලොවුතුරා බුදුවරයන් ලොව පහළ විය යුතුය. ලොවුතුරා බුදුවරයන් ලොව පහළ වන්නේ කලාතුරකිනි. සමහර විට කල්ප අසංඛ්‍ය බොහෝ ගණනක් ද බුදුවරයන් පහළ නොවී ඉක්ම යා හැකිය. බුදුවරයන් නැතිව කල්ප ලක්‍ෂ ගණන් ඉක්මී යාම නම් නිතර සිදු වන්නකි.

යම් කිසිවකු අග්‍ර ශ්‍රාවක බෝධිය පැතූ තැන සිට එක් අසංඛ්‍යයක් ගත වූ තැන දී බුදුවරයකු ලොව පහළ වෙතත් ඉදිරියට පැරුම් පිරිය යුතු කාලය තවත් කල්ප ලක්‍ෂයක් තිබෙන බැවින් ඒ පින්වතාට ඒ බුදු සස්නේදී අග්‍රශ්‍රාවක බෝධියට නො පැමිණිය හැකිය. එතැන් පටන් කල්ප ලක්‍ෂයක් ගත වූ තැන ලොවුතුරා බුදු වරයකු පහළ වත හොත් ඒ පින්වතාට බෝධියට පැමිණෙන්නට ඉඩ තිබේ. ඉදින් එතැන් පටන් කල්ප අසංඛ්‍යයක් ම බුද්ධ ශූන්‍ය වුව හොත් ඒ පින්වතා ගේ ප්‍රාර්ථනය සිදු වීමට කල්ප අසංඛ්‍ය දෙකක් ම ගත වන්නේය. අසංඛ්‍ය කීපයක් බුද්ධ ශූන්‍ය වී නම් ඒ පින්වතා ගේ ප්‍රාර්ථනයේ සිද්ධියට අසංඛ්‍ය කීපයක් ගත වන්නේය. කල්ප ලක්‍ෂයකින් ලබන මහා ශ්‍රාවක බෝධියට පැමිණිය හැකි වන්නේ ද ඒ කාලය තුළ බුදුවරයකු පහළවුව හොත් ය. ඒ කාලය තුළ දී බුදුවරයන් ලොව පහළ නො වුව හොත් කල්ප කෝටි ගණන් අසංඛ්‍ය ගණන් එයට ද ගත වන්නේය. කරුණු මෙසේ හෙයින් ශ්‍රාවක බෝධිය පිළිබඳ ව දක්වන ලද කාල පරිච්ඡේද අනියත බව දත යුතු ය.

අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන් ගෙන් අන්‍ය වූ රහතුන්ගේ ප්‍රාර්ථනා සිද්ධිය පිළිබඳ කාල පරිච්ඡේදයක් අනියමින් වුව ද තථාගතයන් වහන්සේ නො වදාළ සේක. ඇතැම් ආචාර්‍ය්‍ය වරයෝ සාමාන්‍ය රහතුන්ට ද කල්ප ලක්‍ෂයක් පැරුම් පිරිය යුතු බව කියති. ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් කල්ප දහසක් පැරුම් පිරිය යුතු බව කියති. ඒවා ඒ ඒ ආචාර්‍ය්‍යවරයන්ගේ අදහස් ය. රහතුන් ගේ ප්‍රාර්ථනා සිද්ධියට ගත වන කාලය ද ලෝකයෙහි ලොවුතුරා බුදුවරයන් පහල වීමේ සැටියට කෙටිවීම හා දික්වීම සිදු වන බව කිව යුතු ය. ශ්‍රාවක බෝධියට පැමිණීමට හේතු සම්පත් ඇතියවුන් ද එය සඳහා උත්සාහ නො කිරීම නිසා ද, මාර්ගාවරණය කරන අකුශලයක් කරන නිසා ද ඒ ඒ සසුන්වල දී බෝධියට නො පැමිණෙන බව ඇතැම් කථා වස්තුවලින් පෙනේ.

ඒ ජාතියේදී ම මඟ ඵල ලැබීමට හේතු සම්පත් ඇති ව සිටි මහා ධන සිටු පුත්‍රයා ද ඔහු ගේ භාර්‍ය්‍යාව ද බෝධියට නො පැමිණියෝ ය. සෝවාන් වීමට හේතු සම්පත් ඇති ව සිටි අජාසත් රජ පාප මිත්‍ර සේවනයෙන් පිතෘ ඝාතක කර්ම කොට එයින් පිරිහිණ. ශ්‍රාවක බෝධිය පිළිබඳ ස්ථිර කාල නියමයක් නැති බව මේ කරුණුවලින් ද පෙනේ. එසේ නියමයක් නැත ද යම් කිසි ජාතියක දී නියම වශයෙන් ම රහත් වන පුද්ගල කොටසක් ඇති බව ද සංකිච්ච ස්ථවිරයන් වහන්සේ ගේ කථාවෙන් හා බක්කුල තෙරුන් වහන්සේ ගේ කථාවෙන් ද තවත් එබඳු කථාවලින් ද පෙනේ. සංකිච්ච තෙරුන් වහන්සේගේ මව උන් වහන්සේ ගැබ තුළ සිටියදී ම කාලක්‍රියා කළාය. ඇගේ සිරුර ද කුස තුළ හුන් දරුවාත් සමඟ ම සොහොන් කළහ. එහෙත් ඒ ජාතියේ දී ම රහත් වන්නට ඇති හේතු සම්පත්තිය නිසා ඒ දරුවාට අනතුරක් නොවූ බව සංකිච්ච රහතන් වහන්සේ ගේ කථාවෙහි දක්වා තිබේ. බක්කුල තෙරුන් වහන්සේ බාල කාලයේදී මසකු විසින් ගිලින ලද නමුදු එයින් අනතුරක් නො වූ බව ද ඒ කථාවේ දක්වා තිබේ.

පසේ බුදුවරයෝ

පච්චේක බුද්ධ යන වචනයේ තේරුම වෙන ම සත්‍යයන් අවබෝධ කළ තැනැත්තා ය යනුයි. පසේ බුදුවරයෝ ලොවුතුරා බුදුවරයන් ගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයන්ගේන් හෝ උපදෙස් නොලබා ස්වෝත්සාහයෙන් ම සම්බෝධියට පැමිණෙති. ශ්‍රාවකයෝ ස්වෝත්සාහයෙන් ම සම්බෝධියට පැමිණීමට සමත් නො වෙති. පසේ බුදුවරයෝ ලොවුතුරා බුදුවරයන් නූපදනා කාලවල දී ම උපදිති. ලොවුතුරා බුදුවරු තමන් අවබෝධ කළ ධර්මයන් අන්‍යයන්ට ද අවබෝධ කරවා අන්‍යයන් ද සසරින් එතර කරවති.

පසේ බුදුවරු වනාහි තමන් අවබෝධ කළ ධර්මය වචන වලින් අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට සමත් නො වෙති. උන්වහන්සේලා අවබෝධ කළ ධර්මය ගොළුවකු දුටු සිහිනයක් බඳුය. ගොළුවා සිහිනය තමා ම දැන සිටිනවා මිස අනෙකකුට දැන්වීමට සමත් නොවේ. එමෙන් ම පසේ බුදුවරු ද ධර්මය තමන් ම දැන සිටිනවා මිස අනුන්ට අවබෝධ කරවීමට නො සමත් වෙති. එහෙත් සියලු ම සමාපත්ති සෘද්ධි ප්‍රතිසම්භිදාවෝ උන්වහන්සේලාට ඇත්තාහ. උන් වහන්සේලා ගුණ විශේෂයන් ගෙන් ලොවුතුරා බුදුවරයන්ට පහත් තැනක ද බුද්ධ ශ්‍රාවකයන්ට උසස් තැනක ද සිටිති. උන් වහන්සේලා ලොවුතුරා බුද්ධශ්‍රාවකයන් සේ අන්‍යයන් පැවිදි කොට නො හික්මවන්නාහ.

මහා කාරුණික වූ ලොවුතුරා බුදුවරයෝ බොහෝ සත්ත්වයනට පිහිට වනු පිණිස බොහෝ කල් පැරුම් පුරා බුදු වෙති. බුද්ධ ශ්‍රාවකයෝ ආත්ම විමුක්තිය පිණිස පැරුම් පුරා අර්හත්වයට පැමිණ නිවන් ලබති. බුද්ධ ප්‍රත්‍යේකබුද්ධ බුද්ධ ශ්‍රාවක වූ හැමදෙනා ම පැමිණෙන්නේ එක ම නිවනට ය. ශ්‍රාවකයන්ට පමණවත් පසේ බුදුවරයන්ට ලොවට වැඩ කළ නො හැකිය. ලබන නිවනේ වෙනසක් ද නැති ව ශ්‍රාවකයන්ට පමණවත් ලොවට යහපතක් කළ නො හෙන පසේ බුදු බව සඳහා දීර්ඝ කාලයක් කුමට පැරුම් පුරත් ද යන මෙය විසඳා ගත යුතු ප්‍රශ්නයකි.

ශ්‍රාවක බෝධියෙන් නිවන් දක්නට බලාපොරොත්තු වන්නවුන්ට කෙතෙක් කල් හෝ ලොවුතුරා බුදුවරයකු පහළ වන තුරු සසර රැඳෙන්නට සිදු වේ. එතෙක් බලාපොරොත්තු නොවී ඉක්මනින් නිවන් දකිනු කැමැත්තෝ පසේ බුදුබව පතති. ශ්‍රාවක බෝධියට පැරුම් පිරිය යුතු කාලය කෙටි වුවද, ලොවුතුරා බුදුවරයකු පහල වන තෙක් ඔවුනට බෝධියට පැමිණිය හැකි නො වන බැවින් පසේ බුදුවරුන්ට වඩා දීර්ඝ කාලයක් ඔවුන්ට සසර රැඳෙන්නට සිදු වේ. බුදුවරයන් ගේ සසුන්වල පිළිවෙත් පුරා රහත් නුවූ පින්වත්හු ද ප්‍රත්‍යේක සම්බෝධිය පතති.

“යේ පුබ්බබුද්ධෙසු කතාධිකාර

අලද්ධමොක්ඛා ජිනසාසනෙසු

තෙනෙව සංවෙගමුඛෙන ධීරා

විනාපි බුද්ධෙහි සුතික්ඛපඤ්ඤා

ආරම්මණෙනාපි පරිත්තකෙන

පච්චෙකබොධිං අනුපාපුණන්ති”

මෙසේ පච්චේකබුද්ධාපදානයෙහි වදාරා තිබේ. එහි තේරුම පෙර බුදුවරයන් කෙරෙහි කළ පින් ඇත්තා වූ බුදුසසුන්වල දී නිවන් නො ලැබූ යම් කෙනෙක් වෙත් ද ධෛර්‍ය්‍යවත් වූ තියුණු නුවණැත්තා වූ ඒ පින්වත්හු ඒ සංවේගයෙන් ම බුදුවරයන්ගෙන් වෙන් ව ද සුළු කරුණකින් ද ප්‍රත්‍යේක සම්බෝධියට පැමිණෙත් ය යනු යි.

බ්‍රහ්මදත්ත ප්‍රත්‍යේක බුද්ධයන් වහන්සේ ගේ චරිතය

පසේ බුදුවරයන් එක් සාළිස් නමක ගේ චරිත කථා ඛග්ගවිසාණ සූත්‍ර අටුවාවෙහි හා අපදාන අටුවාවෙහි දක්නා ලැබේ. ප්‍රත්‍යේකබෝධි පාරමිතාව හා ශ්‍රාවක බෝධි පාරමිතාව පිළිබඳ වූ ඇතැම් කරුණු දත හැකිවීම පිණිස ඒ එක් සාළිස් චරිත කථා වලින් පළමුවැන්න වූ බ්‍රහ්මදත්ත ප්‍රත්‍යේක බුද්ධයන් වහන්සේගේ චරිත කථාව දක්වනු ලැබේ.

ඒ ප්‍රත්‍යේක බුද්ධයන් වහන්සේ කල්ප අසංඛ්‍ය දෙකක් හා ලක්ෂයක් පැරුම් පුරා කාශ්‍යප බුදුන් වහන්සේ ගේ සස්නෙහි පැවිදිව ආරණ්‍යකයකු වී ගත පච්චාගත වත පුරමින් අවුරුදු විසි දහසක් මහණදම් පිරූහ. ඒ වත නො පුරා ප්‍රත්‍යේක සම්බෝධියට පැමිණෙන්නෝ නැතහ.

තමන්ගේ කර්මස්ථානය ගමට පිඬු සිඟා වඩනා කල්හි ගෙන යාම හා ආපසු එන කල්හි ගෙන ඒම ද ගත පච්චාගත වත ය. කර්මස්ථානය ගෙන යාම ය යනු පිඬු සිඟා වඩනට පටන් ගත් තැන් සිට අනෙකකට සිත යොමු නො කොට කර්මස්ථානය මෙනෙහි කරමින් යාම ය. ආපසු ගෙන ඒමය යනු එන කල්හි ද අනෙකකට සිත යොමු නො කොට කර්මස්ථානය මෙනෙහි කරමින් ම ඒමය. එහි පිළිවෙල මෙසේ දත යුතු.

කර්මස්ථානය ගෙන යන ආපසු නො ගෙනෙන භික්ෂුව ය, කර්මස්ථානය නො ගෙන යන ආපසු එන කල්හි ගෙනෙන භික්ෂුව ය, කර්මස්ථානය නො ගෙන යන නො ගෙන එන භික්ෂුව ය, කර්මස්ථානය ගෙන යන්නා වූ ද ආපසු ගෙනෙන්නා වූ ද භික්ෂුව ය යි මේ සස්නෙහි භික්ෂූහු සතර දෙනෙක් වෙති.

එක් භික්ෂුවක් දවල් කාලයේ හා රාත්‍රියේ ප්‍රථම යාමයේ ද නො නිදා සක්මන් කිරීම ය, හිඳීම ය යන ඉරියව් දෙකින් වෙසෙමින් භාවනාවෙහි යෙදෙමින් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියේ මධ්‍යම යාමයේ සිහියෙන් යුක්තව නැඟී සිටින වේලාව සිත්හි තබා ගෙන සැත්පී පශ්චිම යාමයේ පිබිද සක්මනින් හා හිඳීමෙන් කර්මස්ථානය මෙනෙහි කරමින් ආවරණීය ධර්මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදෑසනින් සෑ-මලූ, බෝ-මලූ වල වත් කරයි. බෝධියට පැන් වත්කරයි. විහාරයේ පැන් තිබිය යුතු තැන්වලට පැන් ගෙනවුන් තබයි. ආචාර්‍ය්‍යෝපාධ්‍යායයන් ගේ වත් මැනවින් සම්පාදනය කරයි. ඉතිරි කුඩා මහත් වත් ද සපයයි.

ඒ භික්ෂු තෙමේ ශරීරය පිරිසිදු කරගෙන සෙනසුනට පිවිස, ශරීරය උණුසුම් ගන්වමින් කර්මස්ථානය මෙනෙහි කොට, පිඬු සිඟා යා යුතු කාලය පැමිණි කල්හි නැඟිට කර්මස්ථානය නො හැර ම පා සිවුරු ගෙන කමටහන මෙනෙහි කරමින් ම සෑ-මලුව කරා යයි. ඉදින් ඒ භික්ෂුව මෙනෙහි කරන කමටහන බුද්ධානුස්මෘතිය වේ නම් එය මෙනෙහි කරමින් ම සෑ-මලුවට පිවිසෙයි. ඉදින් මෙනෙහි කරන කමටහන අනෙකක් නම් භික්ෂුව විසින් එය සෑ-මලුවට නඟින පඩිපෙළ මුල අතින් ගෙනා බඩුවක් තබන්නාක් මෙන් තබා, බුද්ධාලම්බන ප්‍රීතිය ගෙන සෑ-මලුවට නැග, සෑය මහත් නම් තුන් යලක් පැදකුණු කොට සතර තැනක දී පසඟ පිහිටුවා වැඳිය යුතුය. සෑය කුඩා නම් තුන් වරක් පැදකුණු කොට, අට තැනක පසඟ පිහිටුවා වැඳිය යුතු ය. ඉක්බිති බෝ-මලුවට ගොස් දිවමන් බුදුනට සෙයින් ගෞරව දක්වා බෝධි වන්දනාව කළ යුතුය. මේ අටුවාවල වැඳිය යුතු සැටි දක්වා තිබෙන ආකාරය ය.

අද මෙන් එදා ගාථා කියා වැඳීමේ සිරිතක් නො පැවති බව මෙයින් පෙනේ. ගාථා නො කියා ද වැඳීම කළ යුතු බව මෙයින් දත යුතු ය. මෙසේ ඒ භික්ෂුව සෑය හා මහබෝ වැඳ කමටහන තැබූ තැනට පැමිණ තැබූ බඩුවක් ගන්නාක් මෙන් කමටහන ගෙන, එය මෙනෙහි කරමින් ගම සමීපයට ගොස්, කර්මස්ථාන ශිර්ෂයෙන් ම ගම් වැදීමේ දී රැකිය යුතු සිකපද රැකෙන සේ සිවුරු හැඳ පොරවා පිඬු පිණිස ගමට පිවිසෙයි. ගම්වැසියෝ ඒ භික්ෂුව දැක “අපගේ හාමුදුරුවෝ වැඩම කළහ' යි පෙර ගමන් කොට පාත්‍රය ගෙන ගෙයක හෝ ආසන ශාලාවක හෝ හිඳුවා කැඳ පිළිගන්වති.

ඔවුහු දවල් දානය පිළියෙල වනතුරු භික්ෂුවගෙන් පැන හෝ විචාරති. බණ අසන්නට හෝ සැරසෙති. ආරාධනයක් නැතිව වුව ද ජන සංග්‍රහය පිණිස බණ කිය යුතු යයි අර්ථකථාචාර්‍ය්‍යයෝ කියති. කර්මස්ථානයෙන් යුක්ත වූ ධර්මකථාවෙක් නැත. එබැවින් ඒ භික්ෂුව කර්මස්ථාන ශිර්ෂයෙන් ම බණ කියා දන් වළඳා අනුමෝදනය කොට ආපසු එන්නට පිටත් වෙයි.

පහන් වූ ගම් වැසියෝ පසු ගමන් කිරීම් වශයෙන් භික්ෂුව හා එති. භික්ෂුව ඔවුන් හා කථා කරමින් අවුත් ඔවුන් නවත්වා මඟට බසී. පළමු පිඬු සිඟා වළඳා නික්මුණු භික්ෂු සාමණේරයෝ ඒ භික්ෂුව දැක පා-සිවුරු පිළිගනිති. එසේ හමුවන්නා වූ භික්ෂු සාමණේරයන් හා ද ගිහියන් හා ද කථා කරමින් ඒ භික්ෂුව විහාරයට එයි. මේ කමටහන ගෙනයාම පමණක් කොට ආපසු නො ගෙනෙන භික්ෂුව ගේ ප්‍රතිපත්තිය ය.

රාත්‍රියෙහි නිරාහාර ව කමටහන් මෙනෙහි කොට උදෑසන වත් සපයන්නා වූ ඇතැම් භික්ෂුවක ගේ පාචකාග්නිය උත්සන්න වේ. එයින් භික්ෂුව වෙහෙසට පත් වෙයි. ක්ලාන්ත වෙයි. එයින් හේ කමටහන මැනවින් මෙනෙහි කිරීමට නො සමත් වෙයි. ඒ භික්ෂුව උදෑසනින්ම පා-සිවුරු ගෙන ඉක්මනින් චෛත්‍යය හා බෝධිය වැඳ, ඉක්මනින් ගොස් කැඳ පිණිස ගමට පිවිසෙයි. ගමෙහි හැසිර කැඳ ලබා ආසන ශාලාවකට පිවිස කැඳ වළඳන්නට පටන් ගනී.

කැඳ උගුරු දෙක තුනක් වැළඳීමෙන් ගින්න සන් සිඳුණු පසු භික්ෂුව ඉතිරි කැඳ කර්මසථාන ශිර්ෂයෙන් වළඳා පාත්‍රය හා මුව සෝදා ගෙන, පිඬු සිඟා යාමට කාලය පැමිණෙන තුරු එහි ම කමටහන මෙනෙහි කරමින් වැඩ හිඳ, කාලය පැමිණි කල්හි කමටහන මෙනෙහි කරමින් ම පිඬු සිඟා වැඩ, කර්මස්ථාන ශිර්ෂයෙන් ම අහර වළඳා කර්මස්ථානය මෙනෙහි කරමින් ම විහාරයට ආපසු පැමිණෙයි. මේ කමටහන නො ගෙන යන ආපසු එන කල්හි ගෙනෙන භික්ෂුව ගේ ප්‍රතිපත්ති ය.

පෙර බුදු සස්න පැවති ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස කරවන ලද බොහෝ ආසන ශාලාවෝ වූහ. ඒවායේ අසුන්වල හිඳ කැඳ වළඳා පිඬු සිඟා යාමේ වේලාව පැමිණෙන තුරු ඒ අසුන්වල ම හිඳ භාවනා කොට රහත් වූ භික්ෂූන්ගේ ප්‍රමාණයක් නැති බව ද, එකල ලක්දිව ඒ ඒ තැන්වල තුබූ ආසන ශාලාවල යම්කිසි භික්ෂුවක් කැඳ වළඳා භාවනා කොට රහත් නොවූ අසුනක් නුවූ බව ද අටුවාවල දක්වා තිබේ.

සියලු වත් බිඳ දමා කමටහන් මෙනෙහි කළ යුතු බවවත් නො සිතා ප්‍රමාද ව වාසය කරන්නා වූ භික්ෂුව, කාම විතර්කාදියෙන් රාත්‍රිය ඉක්මවා උදෑසන - පා - සිවුරු ගෙන කථා කරන්නට කෙනකු ලද හොත් කථා කරමින් ද, නො ලද හොත් කාමවිතර්කාදියෙන් ද යුක්තව ගමට පිවිස, පිඬු සිඟා වළඳා ගිහියන් හා අනනුලෝමික කථාවෙන් කල් ගෙවා, කාමවිතර්කාදියෙන් යුක්ත ව හෝ මඟ හමුවන්නවුන් හා තිරශ්චීන කථා කරමින් හෝ විහාරයට පැමිණෙන හිස් පුද්ගලයා කමටහන නො ගෙන යන, නො ම ගෙන එන භික්ෂුව ය.

ගත පච්චාගත වත පුරන භික්ෂුව නම් කමටහන ගෙන ගොස් නැවත ගෙන එන්නා වූ භික්ෂුව ය. වැඩ කැමති කුලපුත්‍රයෝ බුදු සස්නෙහි පැවිදිව, දස දෙන - විසි දෙන - තිස් දෙන - සතළිස් දෙන - පනස් දෙන - සියක් දෙන එක් ව මහණ දම් පුරති. “ඇවැත්නි, ආයුෂ්මත්හු ණය ගෙවා ගත නො හෙන නිසා හෝ, බිය නිසා හෝ, ජීවත් විය නො හෙන නිසා හෝ, පැවිදි වූවෝ නො වෙති. දුකින් මිදෙනු පිණිස ම පැවිදි වූවෝ ය. එසේ පැවිදි වූ ආයුෂ්මතුන්ට ප්‍රමාදවීමට සුදුසු නැත. එබැවින් ආයුෂ්මත්හු ගමනෙහිදී උපන් ක්ලේශය හිඳීම දක්වා නො පවත්වා ගමනෙහි දී ම දුරු කරත්වා. සිටීමෙහි දී හිඳීමෙහි දී ශයනයෙහි දී ක්ලේශයක් උපන හොත් ඒ ක්ලේශය අන් ඉරියව්වකට ගෙන නො ගොස් ඒ ඒ ඉරියව්වේ දී ම දුරු කෙරෙත්වා"යි කථා කර ගෙන උන් වහන්සේලා වෙසෙති.

එසේ කථා කරගෙන හැසිරෙන්නා වූ ඒ භික්ෂූන් පිඬු සිඟා වඩිනා කල්හි යම්කිසි භික්ෂුවකට ක්ලේශයක් උපන හොත් ඒ භික්ෂුව වහා ඒ ක්ලේශය සිය සිතින් බැහැර කරයි. නො හැකි වුවහොත් ඉදිරියට නො ගොස් එහි ම නවතී. වැඩි මහලු පිළිවෙළින් යාම මිස ඉදිරියෙන් යන වැඩි මහලු භික්ෂුව පසු කොට යන සිරිතත් වතින් සම්පූර්ණ භික්ෂූන්ගේ නැත. එබැවින් කෙලෙස් උපන් භික්ෂුව සිටි කල්හි පසුව එන භික්ෂූහු ද සිටිති.

එකල්හි කෙලෙස් ඇති වුණු භික්ෂුව තමාට ම තමා අවවාද කරන්නේ “මහණ, තට කෙලෙස් ඇති වූ බව මේ අයුෂ්මත්හු ද දනිති. එය තට ලජ්ජා වීමට කරුණෙකි. වහා එය දුරු කරව” යි අවවාද කරගෙන එකෙණෙහි ම එය බැහැර කොට එතැන දීම ආර්‍ය්‍ය භූමියට පැමිණෙන්නේ ය. නො හැකි වුවහොත් එතැන ම හිඳ ගනී. පසුව එන්නාහු ද එසේ ම හිඳ ගනිති. කෙලෙස් උපන් භික්ෂුවකට එය දුරු කොට එතැනදී ම ආර්‍ය්‍යභූමියට පැමිණිය නො හැකි වුව හොත් එය යට කොට කර්මස්ථානය මෙනෙහි කරමින් යන්නේ ය. කර්මස්ථානයෙන් තොර වූ සිතින් පිය නො නඟන්නේ ය. ප්‍රමාදයකින් කෙලෙස් සහිත සිතින් ඉදිරියට ගියේ නම් කෙලෙස් උපන් තැනට ම ආපසු එන්නේ ය.

ආලින්දකවාසී මහා ඵුස්සදේව තෙරුන් වහන්සේ එකුන් විසිවසක් ගතපච්චාගත වත පිරූහ. කෙලෙස් ඇති වී අමතක වී ඉදිරියට ගමන් කළ හොත් එය දැනුණු වහාම උන් වහන්සේ කෙලෙස් උපන් තැනට ආපසු අවුත්, එය දුරු කර ගෙන ම ඉදිරියට යන්නාහ. උන්වහන්සේ ඉදිරියට යමින් ද ආපසු එමින් ද යනු දක්නෝ “මේ හාමුදුරුවෝ නැවත නැවත ආපසු එමින් යන්නාහ. “මුන්වහන්සේ නැති වුණු දෙයක් සොයත් ද, නැතහොත් පාර වරදවා ගෙන යෙත්දැ"යි කථා කරති. තෙරුන් වහන්සේ ඒවාට ඇහුම් කන් නොදී කමටහන මෙනෙහි කරමින් ම ගමන් කරති. උන්වහන්සේ වත පුරා විසි වසක් තුළ දී සියලු කෙලෙසුන් නසා රහත් වූහ.

රහත් වූ දිනයේ දී උන් වහන්සේ ගේ සක්මනේ කෙළවර වසන දෙවියා පහන්වලින් මෙන් ඇඟිලිවලින් එළිය විහිදුවමින් උන් වහන්සේට ගෞරව කෙළේ ය. සතර වරම් දෙවියෝ ද, සක් දෙව් රජ ද, සහම්පති බ්‍රහ්ම රාජයා ද ඒ පෙදෙස බබුළුවමින් පැමිණ සිටියෝය. වනවාසී මහාතිස්ස ස්ථවිරයන් වහන්සේ රාත්‍රියේ දී ආලෝකය දැක “රාත්‍රියේ දී ආයුෂ්මතුන් සමීපයේ දක්නට ලැබුණු ආලෝකය කවරේදැ"යි විචාළෝය. තෙරුන් වහන්සේ “ආලෝකය නම්, පහන් ආලෝකයක් ද විය හැකි ය. මාණික්‍යාලෝකයක් ද විය හැකි ය” යි කීහ. මහාතිස්ස තෙරුන් වහන්සේ “ආයුෂ්මත්හු කාරණය සඟවති” යි නැවත නැවතත් විචාළ කල්හි කාරණය සිදු වූ සැටියට ප්‍රකාශ කළහ.

කාළවල්ලි මණ්ඩප වාසී මහානාග තෙරුන් වහන්සේ ද ගතපච්චාගත වත පිරූහ. උන් වහන්සේ පළමුවෙන් “භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රධානයට පූජා කෙරෙමි"යි සත් වසක් නොනිදා ම භාවනා කළහ. නැවත සොළොස් වසක් ගත පච්චාගත වත පුරා රහත් වූහ. උන් වහන්සේ කර්මස්ථානයෙන් යුක්ත වූ සිතින් ම පිය නඟමින් කර්මස්ථානයෙන් තොර වූ සිතින් ඉදිරියට ගිය හොත් ආපසු එමින් ගම සමීපයට ගොස්, පාත්‍රය සෝදා ආහාර පිළිගැන්වූ ද, වැන්දා වූ ද, මිනිසුන්ට “සුවපත් වේවා” යි කියන්නට යමෙන් ද, “කර්මස්ථානයට හානියක් නො වේවා” යි මුඛයේ ද පැන තබා ගෙන ගමට පිවිසෙති.

යම් කිසිවකු විසින් දවස හෝ භික්ෂු ගණන හෝ ප්‍රශ්නයක් හෝ විචාළ හොත් ඒ පැන් ගිල එයට පිළිතුරු දෙති. එබඳු ප්‍රශ්නයක් අසන කෙනකු නුවුව හොත් මුව තුළ පැන් තබා ගෙන ම පිඬු සිඟා ගම් දොර දී ඒ පැන් ඉවත ලා යන්නාහ.

කථා නො කිරීමට මෙ පමණ උත්සාහ කරන යෝගාවචරයන් කථා කරන්නේ කුමට ද යනු දත යුතු කරුණෙකි. සම්පූර්ණයෙන් ම කථා නො කිරීම තිර්ථකයන් ගේ ව්‍රතයක් මිස බෞද්ධ භික්ෂූන් ගේ සිරිතක් නොවේ. “න භික්ඛවෙ මුගබ්බතං තිත්ථිය සමාදානං සමාදියිතබ්බං, යො සමාදියෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යි මහණෙනි, තිර්ථකයන් ගේ සමාදානයක් වූ මුග ව්‍රතය (ගොළුවකු මෙන් හැසිරීම) සමාදන් නො විය යුතු ය. යමෙක් සමාදන් වේ නම්, ඒ මහණ හට දුකුළා ඇවැත් වේය"යි බුදුන් වහන්සේ සික පදයක් ද පනවා තිබෙන බැවින්, ලොව රවටන්නට කථා නො කරන අය මිස ශික්ෂාකාමීහු කථා නො කිරීමේ ව්‍රතය සමාදන් නො වෙති.

කලම්බතිත්ථ විහාරයේ වස් විසූ පනස් නමක් භික්ෂූහු ද ගත පච්චාගත වත පිරූහ. උන් වහන්සේලා ඇසළ මස පුණු පොහෝ දිනයේදී “අප රහත් නොවී ඔවුනොවුන් හා කථා නො කරමුය"යි කතිකා කර ගෙන වස් වැසූහ. උන් වහන්සේලා ද, මහානාග තෙරුන් වහන්සේ මෙන් ම මුව තුළ පැන් තබාගෙන ගම් වැදුණාහ. ගමේ දී කථා කිරීමට කාරණයක් නුවුවහොත් උන් වහන්සේ මුවින් ගත් පැන් ගම් දොර සමීපයේ ඉවත ලා යන්නාහ. මනුෂ්‍යයෝ ඉවත ලූ පැන් බලා පැමිණි භික්ෂූන් මෙතෙකැයි ගණන් ගනිති.

ඒ භික්ෂූන් වහන්සේලාට පිණ්ඩපාතය දෙන ගම්වැස්සෝ මෙ භික්ෂූන් කථා නො කරන්නේ අප හා පමණක් ද? මුන් වහන්සේලා ඔවුනොවුන් හා ද කථා නො කෙරෙත් ද? ඉඳින් ඔවුනොවුන් කථා නො කරත් නම් මුන් වහන්සේලා ඔවුනොවුන් හා කලහ කර ගෙන සිටින්නෝ ය. ඉදින් උන්වහන්සේලා අසමගියෙන් සිටිත් නම්, අප විසින් ඔවුනොවුන් සමගි කර වන්නට වටනේය”යි එක් දවසක් සෑම දෙනා එක් ව විහාරයට ගියෝ ය. විහාරයට ගියා වූ ඔවුහු එක් තැන භික්ෂූන් දෙනමක් නුදුටහ. ඔවුන් අතර සිටි එක් නුවණැති පුරුෂයෙක් විහාරයේ ඇවිද බලා සෙස්සන්ට කියනුයේ “මෙහි සෑ - මලු, බෝ - මලු හැමද තිබෙන්නේ ය. විහාරයේ හැමදිය යුතු තැන් සියල්ල හැමද තිබෙන්නේ ය. පැන් තිබිය යුතු තැන්වල පැන් ඇත්තේ ය. ඉදල් මුසුන් ආදී බඩු තැන්පත් කොට තිබෙන්නේය. කලහකරුවන් වසන තැන් මෙසේ නො වේය” යි කීහ. ඔහු ගේ බස් අසා සියල්ලෝ ම පෙරලා ගියහ. ගත පච්චාගත වත පිරූ ඒ හැම දෙනා වහන්සේ ම වස් කාලය තුළ දී සව් කෙලෙසුන් නසා රහත් ව මහා පවාරණයේ දී විසුද්ධි පවාරණය කළෝය.

ගත පච්චාගත වත පුරන්නා වූ භික්ෂූහු ආලින්දක වාසී මහා ඵුස්සදේව තෙරුන් වහන්සේ මෙන් ද, කාලවල්ලි මණ්ඩප වාසී මහානාග තෙරුන් වහන්සේ මෙන් ද, කලම්බතිත්ථ විහාරයේ වස් විසූ භික්ෂූන් මෙන් ද, කර්මස්ථානයෙන් යුක්ත චිත්තයෙන් ම පිය නඟමින් ගම සමීපයට ගොස්, මුඛයෙහි පැන් තබා ගෙන සුරා ධූර්ථාදි කලහ කාරයන් නැති, චණ්ඩ හස්ති, අශ්වයන් නැති විථිවලට වැද, නො සම මඟක යන දිය කරත්තයක් සේ සෙමින් ගෙපිළිවෙලින් වඩිති. පිඬු සිඟා අවසන් වූ පසු කර්මස්ථානයෙන් යුක්ත සිතින් ම ගමෙන් පිටත පහසු තැනකට හෝ විහාරයට ම හෝ පැමිණ සුදුසු තැනක හිඳ, ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව උපදවා, කරත්ත රෝදයට තෙල් දැමීමේ උපමාව ය, වණයට බෙහෙත් ගැල්වීමේ උපමාව ය, පුත්‍ර මාංසෝපමාව ය යන උපමාවලින් ප්‍රත්‍යවේක්ෂා කෙරෙමින් අෂ්ටාංගයකින් යුක්ත කොට ආහාරය වළඳති.

උන් වහන්සේලා ක්‍රීඩා පිණිස ආහාර නො වළඳති. මද වඩනු පිණිස නො වළඳති. ඇඟ තර කරවනු පිණිස නො වළඳති. ඇඟ පැහැපත් කරනු පිණිස නො වළඳති. වළඳා අවසන් වූ පසු ආහාර ක්ලාන්තය සන්සිඳෙනු පිණිස මඳක් විවේක ගෙන, දවල් කාලයේ ද රාත්‍රියේ ප්‍රථම යාමයේ හා පශ්චිම යාමයේ ද කර්ම ස්ථානයන් ම මෙනෙහි කරන්නාහ. එසේ මහණ දම් පුරන්නා වූ භික්ෂූහු ගත පච්චාගත වත සම්පූර්ණ කරන්නෝ ය.

ආහාර වැළදීමේ දී මෙනෙහි කරන උපමාවලින් කරත්ත රෝදයට තෙල් දැමීමේ උපමාව මෙනෙහි කරන සැටි මෙසේ දත යුතු. කරත්ත රෝදයේ පූනුවෙහි තෙල් වියලුණු කල්හි එයින් හඬ නැගෙයි. ගොනුන්ට ඇදීම දුෂ්කර වෙයි. අලවංගුව හා පූනුව ගෙවෙන්නට පටන් ගනී. රියකරු එය නො ගෙවී ආරක්‍ෂා වනු සඳහා ද පහසුවෙන් ක්‍රියා කර වීමට හැකි වනු සඳහා ද එයට තෙල් දමයි. එමෙන් යෝගාවචර භික්ෂුව ද “ශරිරයේ පැවැත්ම පිණිස ද, එය ක්‍රියාවේ යෙදවීමට පහසු වනු පිණිස ද ආහාර වළඳමි” යි සිතා ආහාර වළඳයි.

වණයට බෙහෙත් ගැල්වීමේ උපමාව මෙනෙහි කරන සැටි මෙසේ ය. වණයෙහි බොහෝ දුක්වේදනා හට ගනී. දුක් හටගන්නා තැනක් බැවින් ශරීරය ද වණයක් බඳු ය. යෝගාවචර භික්ෂුව, රිදුම් - කැසුම් ආදි දුක් දුරු කර ගැනීම පිණිස වණයක් ඇති තැනැත්තා එහි බෙහෙත් ගල්වන්නාක් මෙන් “මම ද මේ සිරුරේ ඇතිවන බඩගිනි වේදනාව ආදී ආහාර නැති කමින් වන වේදනා දුරු කර ගනු පිණිස වළඳමි"යි අහර වළඳයි.

පුත්‍ර මාංසෝපමාව මෙසේ ය: අඹු සැමි යුවලක් ඔවුන්ගේ අත දරුවා ද ගෙන කාන්තාරයක් මැදින් ගමන් කළෝ ය. කාන්තාරය මැද දී ඔවුන් ගෙන ගිය බත් පැන් අවසන් විය. ඔවුහු බත් පැන් නැති කමින් ද තද උෂ්ණයෙන් ද අතිශයින් පීඩාවට පත් වූහ. සියුමැලි බැවින් ළදරුවා කලින් ම මළේය. ඒ අඹු සැමි දෙදෙනා ජීවත් වුව හොත් අපට මතු දරුවන් ලැබිය හැකි ය. නිරාහාර ව සිටියහොත් මෙහි ම මැරෙන්නට වනු මිස අපට ද කාන්තාරයෙන් එතර වන්නට නො ලැබෙන්නේ ය. අපි මේ දරුවා ගේ මස් කා කාන්තාරයෙන් එතර වන්නෙමු”යි දරුවා ගේ මස් අමුවෙන් ම කා කුස ගින්න නිවා ගත්තෝ ය. මෙය ඇත්ත වශයෙන් සිදු වූවක් නොව උපමා කථාවකි.

ඒ අඹු සැමියන්ට ඒ මස මිනි මස් නිසා පිළිකුල් ය. දරුවා ගේ මස් නිසා ද පිළිකුල් ය. ලපටි මස් නිසා ද පිළිකුල් ය. අමු මස් නිසා ද පිළිකුල් ය. ලුණු ඇඹුල් දුරු මිරිස් නැති නිසා ද පිළිකුල් ය. එ පමණ පිළිකුල් වූ ඒ මස ඔවුන් අනුභව කළේ, ඒ ගැන අල්ප මාත්‍ර වූ ද, සතුටක් ආසාවක් ඇති නිසා නොව කාන්තාරයෙන් එතර වීම පිණිස ය. එ මෙන් ගත පච්චාගත වත පුරන මේ භික්ෂුව ද රස තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු කොට “දිවි පවත්වා ගැනීම පිණිස ම සංසාරයෙන් එතර වනු පිණිස ම, පිළිවෙත් පුරනු සඳහා ම ආහාර වළඳමි"යි සලකා ආහාරය වළඳයි.

කියන ලද පරිදි ගත පච්චාගත වත පුරන්නා වූ භික්ෂු තෙමේ හේතු සම්පත් ඇතියෙක් වේ නම්, ප්‍රථම වයසේ දී ම රහත් වෙයි. නොවී නම් මධ්‍යම වයසේ දී හෝ රහත් වෙයි. එසේ ද නොවී නම් මරණාසන්නයේ දී හෝ රහත් වෙයි. එසේ නො වී නම් දෙ වන ජාතියේ දී දිව්‍යපුත්‍රයෙක් හෝ වී රහත් වෙයි. එසේ ද නො වී නම් අබුද්ධෝත්පාද කාලයේ දී පසේ බුදු කෙනෙක් හෝ වෙයි. එසේ ද නො වී නම් බාහිය දාරුචිරයන් මෙන් බුදුවරයකු ගේ හමුවෙහි වහා රහත් වෙයි. සැරියුත් මහ තෙරුන් වහන්සේ මෙන් මහා ප්‍රාඥයෙක් හෝ වෙයි. මුගලන් මහ තෙරුන් වහන්සේ මෙන් සෘද්ධි ඇතියෙක් හෝ වෙයි. මහ කසුප් තෙරුන් වහන්සේ මෙන් ධුත වාදියෙක් හෝ වෙයි. අනුරුදු තෙරුන් වහන්සේ මෙන් දිවැස් ඇතියෙක් හෝ වෙයි. උපාලි තෙරුන් වහන්සේ මෙන් විනයධරයෙක් හෝ වෙයි. පුණු තෙරුන් වහන්සේ මෙන් ධර්ම කථිකයෙක් හෝ වෙයි. රේවත තෙරුන් වහන්සේ මෙන් ආරණ්‍යකයෙක් හෝ වෙයි. ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙන් බහුශ්‍රැතයෙක් හෝ වෙයි. රහල් තෙරුන් වහන්සේ මෙන් ශික්ෂාකාමියෙක් හෝ වෙයි.

ඉහත සඳහන් කළ ප්‍රත්‍යේක බෝධි සත්ත්ව තුමා කසුප් බුදුන් වහන්සේගේ සස්නෙහි ගත පච්චාගතවත පුරා ආයු කෙළවර චුතව, කාමාවචර දිව්‍ය ලෝකයෙහි ඉපද, බෝ කල් දිව්‍ය ශ්‍රී සම්පත් විඳ දෙව් ලොවින් චුත ව එවකට දඹදිව අග රජ වූ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ අග මෙහෙසිය කුස පිළිසිඳ ගත්තේය. කුසයෙහි දරුවකු පිළිසිඳ ගතහොත් නුවණැති ස්ත්‍රීහු එකෙණෙහි ම දැන ගනිති. දේවිය නුවණැතියක බැවින් දරු ගැබ පිහිටි බව දැන රජුට දැන්වූවාය. පින්වත් දරුවන් කුස හොත් කල්හි මව්වරු ගර්භාරක්ෂාව ලබති. බ්‍රහ්මදත්ත රජතෙමේ මේ පින්වත් කුමරුගේ මවට ගර්භාරක්ෂාව සලසා දිණ.

ගර්භාරක්‍ෂා දීමය යනු කුස හොත් දරුවාට පීඩාවක් නො වන සේ හැසිරීමට උවමනා සියල්ල මවට සපයා දීම ය. ආදරයෙන් ආරක්ෂා කරනු ලබන ගැබ මේරූ දේවිය, සූතිකා ගෘහයට පිවිස එක් බලවත් උදෑසනක තෙලින් හැණූ මනෝ සීල පිණ්ඩයක් සේ ශෝභන වූ පින්වත් කුමරකු ප්‍රසූත කළාය. ඉපදී පස්වන දීනයේ ඒ කුමාරයා සරසා බ්‍රහ්මදත්ත රජුට දැක්වූහ. රජ සතුටුව කිරි මවුන් සැට දෙනකු යොදවා කුමරා පෝෂණය කරවීය. සොළොස් හවුරුදු වයසට පැමිණියා වූ පින්වත් කුමරා පිය රජ තුමා විසින් එවකට දඹදිව පැවති විසි දහසක් නගරවලට අග රජු වශයෙන් බ්‍රහ්මදත්ත නාමයෙන් ම රජයෙහි අභිෂේක කරවන ලද්දේ ය. ඒ රජතුමාට විසි දහසක් නගරයෝ වූහ. විසි දහසක් ප්‍රාසාදයෝ වූහ. විසි දහසක් ඇත්තු වූහ. විසි දහසක් අශ්වයෝ වූහ. විසි දහසක් රථ වූහ. විසි දහසක් ඇමතියෝ වූහ. රජ තෙමේ මහත් යස ඉසුරෙන් රජය කරද්දී ම කසිණ පරිකර්ම කොට පඤ්චාභිඥාවන් හා අෂ්ටසමාපත්තීන් ඉපද වී ය. අභිෂේක ලත් රජුන් විසින් විනිශ්චයාසනයෙහි හිඳ ගත යුතු ම ය.

දිනක් විනිශ්චය ශාලාවේ හිඳ ගත් කල එ තැන මහා ශබ්ද ඇති විය. රජ තෙමේ මේ ශබ්ද සාමාපත්තියට බාධා වෙතැයි එතැනින් නික්ම ප්‍රාසාදයට නැග ධ්‍යාන සමාපත්තියට සම වදින්නට උත්සාහ කළේය. එහෙත් එදා සමවතට පැමිණෙන්නට නො හැකි විය. රාජ්‍යයේ කටයුතුවලින් වික්ෂිප්ත වූ එතුමා ධ්‍යානයෙන් පිරිහිණ. ඉක්බිති රජතුමා “රාජ්‍යයය, ශ්‍රමණ ධර්මය ය යන මේ දෙකින් කවරක් උතුම් දැ”යි විමසනුයේ “රාජ්‍ය සුඛය සුළු ය. අනේකාදීනව ඇත්තේ ය. උතුමන් විසින් සෙවුනා ලද ශ්‍රමණ සුඛය ම උතුම් ය. එහි අනුසස් බොහෝය”යි වැටහී එක්තරා ඇමතියකුට රජය බාර කොට, ප්‍රාසාදයට නැග බත් පැන් ගෙන එන්නවුන්ට හැර අන් කිසිවකුට එහි නො වදනා ලෙසට නොයෝග කොට සමවත් සුවයෙන් වසන්නට පටන් ගත්තේ ය.

අඩ මසක් පමණ ගත වූ පසු දේවිය, “උයන් ගමන් නැටුම් බැලීම් ආදී කිසි තැනක රජු දක්නට නැත. රජ කොහි වෙසේදැ"යි විචාළා ය. ඇමතියෝ සිදු වූ සියල්ල ඇයට කීහ. ඉක්බිති දේවිය “රජු විසින් රජය භාර කරන ලද්දේ නම් මම ද භාර කරන ලද්දී වෙමි ය. මා හා වාසය කිරීමට මෙහි එනු මැනවැ” යි රාජ්‍ය භාර අමාත්‍යයා වෙත දූතයකු යැව්වාය. ඇමති තෙමේ “නො ඇසිය යුත්තක් ඇසුම්හ” යි කන් අතින් වසා ගත්තේය. දේවිය නැවතත් දෙතුන් වරක් පණිවිඩ යවා, ඇමතියා නො එන කල්හි තර්ජනය කොට යැව්වා ය. ඇමතියා බිය වී “ස්ත්‍රීහු තද සිත් ඇත්තෝය. ඉදින් නො ගියෙම් නම් මා හට අනර්ථ කෙරෙති"යි සිතා නො කැමැත්තෙන් ම එක් දිනක් රහසින් ම එහි ගොස් ඇය සතුටු කෙළේ ය. ඇමතියාට ද ඇගේ ශරීර ස්පර්ශය රස වී හේ නැවත නැවතත් එහි යන්නට පටන් ගත්තේ ය. කල් යෑමෙන් ඇගේ හිමියකු මෙන් ප්‍රසිද්ධියේ ම එහි යන්නට විය. රාජ පුරුෂයෝ ඒ පුවත රජුට සැල කළෝ ය. රජ පළමුවෙන් එය නො අදහා නැවත නැවතත් කියන කල්හි තෙමේ ම විමසා කාරණය සියැසින් ම දැක, සියලු ඇමතියන් රැස් කරවා කාරණය ඔවුනට කීහ.

ඇමතියෝ මොහු රාජ්‍යාපරාධ කාරයෙක, මොහු ගේ අත් කපන්නට වටනේ ය, පා කපන්නට වටනේ ය, යනාදීන් උල හිඳුවීම් දක්වා ඇති සියලු ම වධ කළ යුතු බව කීහ. රජතුමා කියනුයේ මොහුට වධ කරවීමෙන් මා හට, හිංසා කිරීමේ අකුශලය සිදු වන්නේ ය. ‘මොහු ගේ දේපොල ගැනීමෙන් මා හට අදත්තාදාන පාපය වන්නේ ය. ඒවායින් කම් නැත. මොහු මාගේ රාජ්‍යයෙන් බැහැර කරව’යි කීය. ඇමතියෝ ඔහු රජයෙන් නෙරපූහ. හේ අඹු දරුවන් හා ධන සාරය ද ගෙන අන් රටකට ගොස් එහි රජුට උපස්ථාන කරන්නට විය.

හේ ටික දිනකින් ඒ රජු හා විශ්වාසයට පැමිණ එක් දවසක් දෙවයන් වහන්ස, “මැස්සන් නැති මීයක් ඇත. එය කන කෙනකු නැතය”යි කීය. රජ එය කවටකමක් සේ සිතා ඒ ගැන සැලකිල්ලක් නො කෙළේ ය. ඇමතියා ඉන් පසු ද ඉඩ ලැබුණු විටක වඩාත් වර්ණනා කොට කීහ. රජ “ඒ කුමක් දැ” යි ඇසීය. “දේවයන් වහන්ස, බරණැස් රජය”යයි ඇමතියා කීය. එකල්හි රජු “නුඹ තැත් කරන්නේ මා එහි ගෙන ගොස් මරවන්නට දැ” යි ඇසීය. ඇමතියා කියනුයේ “දේවයන් වහන්ස, එසේ නො කියනු මැනවි. අවිශ්වාස නම් නුඹ වහන්සේ ම මිනිසුන් යවා විමසන සේක්වා.”යි කීය. රජු එහි මිනිසුන් යැවීය. ඔවුහු එහි ගොස් උමං කැණ රජු ගේ යහන් ගබඩාවෙන් ම මතු වූහ. රජතුමා “කුමට අවු දැ” යි ඔවුන්ගෙන් විචාරා “දේවයන් වහන්ස, ”අපි සොරු නො වෙමු.”යි කී කල්හි ඔවුනට ධනය දී මතු එවැනි දේ නො කරන ලෙසට අවවාද කොට ඔවුන් යැවී.

සතුරු රජ එසේ තුන් වරක් ම විමසා, බරණැස් රජු සිල්වතකු බව ද, නපුරකු නො වන බව ද, ස්ථිර වශයෙන් ම දැන සිවුරඟ සෙනඟ ගෙන බාරාණසී නගර සීමාවේ එක් කුඩා නගරයකට වැද, මේ නගරය දෙව, නො දෙත හොත් යුදයට එව"යි කියා ඇමතියකු බ්‍රහ්මදත්ත රජු වෙත යැවීය. ඇමතියා ගොස් බඹදත් රජුට එ පුවත් කියා “දේවයන් වහන්ස, නගරය දෙන්නෙම්ද, යුද කරන්නෙම් දැ"යි විචාළේ ය. බඹදත් රජතුමා “යුද නො කොට නගරය දී මෙහි එව"යි ඇමතියට අණ කළේ ය. හේ රජ අණ පරිදි එසේ කෙළේ ය. සතුරු රජ ඒ නගරය ගෙන තවත් නගර වලට ද ගොස් එසේ ම ඒ ඒ නගරවල හුන් ඇමතියන් බඹදත් රජවෙත යැවී ය. රජතුමා යුද නො කොට ඒ නගර සතුරු රජුට දී එන ලෙස සැමට ම අණ කෙළේ ය.

ඇමතිවරු හැම දෙන ඒ ඒ නගර සතුරු රජුට දී බරණැස් නුවරට පැමිණියහ. ඉක්බිති ඇමතිවරු රැස්ව බඹදත් රජු වෙත ගොස්, “මහරජ සතුරු රජු හා යුද කරමු"යි කීහ. රජතුමා ද “ප්‍රාණඝාතය නො කළ හැකි ය"යි ඔවුන් වැළැක්වී ය. ඇමතියෝ, “අපි ඒ රජු නො මරා අල්ලා මෙහි ගෙනෙමු” ය යනාදීන් නොයෙක් කරුණු කියා “මහ රජ, එනු මැනව” යි කියා ගමනට සූදානම් වූහ. රජතුමා “ඉදින් මැරීම් පහර දීම් කොල්ලකෑම් නො කරන්නහු නම් එන්නේ මැ"යි කීය. ඇමතියෝ “දේවයන් වහන්ස, අපි ඒ කිසිවක් නො කරන්නෙමු ය, බිය ගන්වා සතුරන් පලවා හරිමු” ය යි කියා සේනා රැස් කරවා කළ තුළ පහන් දල්වා ගෙන රාත්‍රියෙහි ගියෝ ය.

සතුරු රජ ද එක් නගරයක් ගෙන විරුද්ධ ව කිසිවකු නො පැමිණියෙන් සන්නාහයන් මුදා යුදයක් ගැන බලාපොරොත්තු රහිත ව ඒ වේලාවේ සේනාවත් සමඟ නිදමින් සිටියේ ය. බරණැස් රජුගේ ඇමතියෝ රජු ද කැඳවා ගෙන සතුරු රජු ගේ කඳවුරට වැද, කළවල තුබු පහන් එකවර පිටතට ගෙන ආලෝකවත් කොට එකවර මහ හඬ නැගූහ. සතුරු රජුගේ ඇමතියෝ මහසෙනඟ දැක බිය වී තමන් ගේ රජු වෙත ගොස් “නැගිටින්න මී වදය කන්නය"යි මහ හඬ නැඟුහ. සතුරු රජ ඒ හඬින් පිබිද බිය වී “අනුන්ගේ කීම් අසා සතුරන් අතට පැමිණියෙමි"යි රාත්‍රිය මුළුල්ලෙහි වැලපී “මේ ධාර්මික රජතුමා අපරාධයක් නො කරන්නේ ය. එතුමා වෙත ගොස් සමාව ඉල්ලමි"යි එතුමා වෙත ගොස් දණින් වැටී සමාව ඉල්ලී ය.

බඹදත් රජ ඔහුට මතු එවැනි දේ නො කරන ලෙසට අවවාද කොට සමාව දිණ. සතුරු රජ බරණැස සමීපයෙහි ම වූ ජනපදයක රජ බව ලබා බරණැස් රජු හා මිතුරු ව විසී ය. බඹදත් රජ දෙ සෙනඟ ඔවුනොවුන් සමඟියෙන් සතුටින් සිටිනු දැක, මාගේ සිත රැකීම නිසා ජන සමූහයේ එකකු ගෙන්වත් මැස්සකුට බොන පමණට ලේ බිඳුවක්වත් නො සෙල්විණැයි සතුටුව “සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා” යනාදීන් හැම සතුන් කෙරෙහි මෙත් වඩන්නට පටන් ගත්තේ ය. ඔහුට එයින් මෛත්‍රී ධ්‍යානය උපන.

ඉක්බිති රජතුමා මෛත්‍රී ධ්‍යානය පාදක කොට සකල සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් බලමින් විදසුන් වැඩීය. එයින් එතුමා සියලු කෙලෙසුන් නසා ප්‍රත්‍යේක සම්බෝධියට පැමිණියේය. පසේ බුදු වී ඵල සමාපත්ති සුඛයෙන් ඇතු පිට හුන් රජු වෙත ඇමතියෝ ගොස් “දේවයන් වහන්ස, දැන් යාමට කාලය ය. එබැවින් ජය ගත් සේනාවට සත්කාර කළ යුතු ය. පැරදුණු සේනාවට බත් වැටුප් දිය යුතුය"යි කීය. රජතුමා “දරුවෙනි, මම රජ නොවෙමි, පසේ බුදු වෙමි"යි කීය. එකල්හි ඇමතියෝ “දේවයන් වහන්ස, කුමක් කියන සේක්ද? පසේ බුදුවරු ඔබඳු නොවෙති"යි කීහ. රජතුමා පසේ බුදුවරුන්ගේ සැටි විචාළේ ය. “දේවයන් වහන්ස, පසේ බුදුවරු දෑඟුල් හිසකේ ඇති අට පිරිකර දරන්නෝ වෙති"යි ඇමතියෝ කීහ.

රජ තෙමේ අතින් හිස පිරිමැද්දේ ය. එකෙණෙහි ම ගිහි ලිංගය අතුරුදහන් විය. පැවිදි වෙස පහල විය. රජතුමා සියවස් ගත කළ මහ තෙර කෙනකු සේ පෙනිණ. බ්‍රද්මදත්ත ප්‍රත්‍යේක බුද්ධයන් වහන්සේ චතුර්ථ ධ්‍යානයට සම වැදී ඇතු පිටින් අහසට පැන නැඟ පද්මයක වැඩ හුන්හ. ඇමතිවරු වැඳ “ස්වාමීනි, ඔබ වහන්සේ මෙය කෙසේ ලැබූ සේක් දැ"යි විචාළෝය. පසේ බුදුන්වහන්සේ -

“සබ්බේසු භූතෙසු නිධාය දණ්ඩං

අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං

න පුත්ත මිච්ඡෙය්‍ය කුතො සහායං

එකො චරෙ ඛග්ගවිසාණ කප්පො”

යන මේ ගාථාව වදාරා මහා ජනයා බලා සිටියදී ම පසේ බුදුවරයන් වහන්සේලාගේ වාසස්ථානය වූ ගන්ධමාදන පර්වතයට අහසින් වැඩිසේක. ගන්ධමාදන පර්වතය හිමාලය අඩවියේ පිහිටි රම්‍ය පර්වතයෙකි. එහි පා - ගමනින් නො යා හැකිය. එය පසේ බුදුවරයන් ගේ ප්‍රධාන ස්ථානය ය. අහසින් ගොස් පසේ බුදුවරු එහි ගුහාවල වෙසෙති. එහි ම රැස්වීම් පවත්වති. විද්‍යා චක්‍රවර්තීන් විසින් විරචිත බුත්සරණයේ මේ පසේ බුදුවරුන්ගේ වාසස්ථානය මෙසේ විස්තර කර තිබේ.

"එහි මැ නන්දමූලක නම් පර්වතයෙහි පසේ බුදුන් වහන්සේ වරුන් දෑ වසන තැන රන් ගුහා යැ, මැණික් ගුහා යැ, රිදී ගුහා යැ යි තුන් ගුහායෙක් ඇත. ඔවුන් අතුරෙහි මැණික් ලෙණ දොරැ යොදුනක් උස යොදුනක් පළල මඤ්ජූසක නම් ගසෙක් ඇත. ඒ වෘක්ෂයෙහි දියහි ගොඩහි පුප්නා හැම මල් මැ පිපෙන්නේ යැ. එහි විශේෂයෙන් හැම පසේ බුදුන් වහන්සේ වඩනා දවස් මැ සිසාරා සර්ව රත්නමය වූ මලුවෙක් වෙයි.

එහි හමනා වාතයෙන් කසළ හැමද දමයි. එක් වාතයෙක් සත් රුවන් වැලි තනයි. දිය ඉස්නා එක් වාතයෙක් අනවතප්ත විලින් දිය ගෙන වුත් ඉස්නේ යැ. සුවඳ කරන එක් පවනෙක් සියලු සුවඳ රුකින් සුවඳ ගෙනෙන්නේ යැ. මල් බිඳිනා එක් පවනෙක් මල් කඩා වගුරුවයි. අතුරන්නා වූ එක් පවනෙක් හැම තන්හි මැ මල් අතුරුයි. එහි හැම වේලෙහි ම ආසන පනවා තිබේ මැයැ. එහි පසේ බුදු වූ දවස් ද පොහෝ කරන දවස් ද පසේ බුදුන් වහන්සේ එයට වැඩැ පණවන ලද ආසනයෙහි වැඩැ හිඳිනා සේක.

උන් වහන්සේ වැඩැ හුන් ඉක්බිති සෙසු පසේ බුදුන් වහන්සේ වරුන් දෑ ද අවුත් පණවන ලද ආසනයෙහි වැඩ හිඳැ එක්තරා සමාපත්තියකට සම වැද සමාපත්තීන් නැගෙන සෙයෙකැ. ඉක්බිති හැම දෙනා වහන්සේට පළමු පසේ බුදු වූ වහන්සේ අළුතැ පසේ බුදු වැ වැඩි වහන්සේ හැම දෙනා වහන්සේට අනුමෝදනා පිණිස “තෙපි කෙසේ පසේ බුදු වූ දැ” යි කමටහන් විචාරන සේක. ඒ වේලෙහි පසේ බුදුන් වහන්සේ තමන් වහන්සේගේ උදානඛ්‍යාකරණ ගාථා වදාරන සෙයෙක. මෙසේ ගන්ධමාදනකූටය තෙම පසේ බුදුන් වහන්සේ වරුන් දෑ ට වසන තැන වෙයි.”

දසපාරමිතා

“දානං සීලඤ්ච නෙක්ඛම්මං

පඤ්ඤා විරියෙන පඤ්චමං

ඛන්ති සච්චමධිට්ඨානං

මෙත්තුපෙක්ඛාතිමා දස.”

දාන පාරමිතාව ය, ශීල පාරමිතාව ය, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ය, ප්‍රඥා පාරමිතාව ය, වීර්‍ය්‍ය පාරමිතාව ය, ක්ෂාන්ති පාරමිතාව ය, සත්‍ය පාරමිතාව ය, අධිෂ්ඨාන පාරමිතාව ය, මෛත්‍රී පාරමිතාව ය, උපේක්ෂා පාරමිතාව යයි පාරමිතා දශයෙකි. එයින් එක් එක් පාරමිතාවක් පාරමිතා ය, උප පාරමිතා ය, පරමාර්ථ පාරමිතා ය යන භේදයෙන් තුන් වැදෑරුම් වීමෙන් පාරමිතා තිසක් වේ.

පාරමිතා සම්පාදනයේ උපාය

සැම දෙනා විසින් පාරමිතා සම්පාදනය කළ යුතු ආකාරය එකක් නො වේ. ලොවුතුරා බුදු බව පතන මහ බෝසතුන් විසින් පාරමිතා සම්පාදනය කළ යුතු ආකාරය එකෙකි. ප්‍රත්‍යේක බෝධිසත්ත්වයන් විසින් පාරමිතා සම්පාදනය කළ යුතු ආකාරය අනෙකකි. ශ්‍රාවක බෝධිසත්ත්වයන් විසින් සම්පාදනය කළ යුතු ආකාරය අනෙකකි. එයින් මහ බෝසතුන් විසින් පාරමී සම්පාදනය කළ යුතු ආකාරය මෙසේ ය:

මහ බෝසතුන්ගේ පාරමිතා සම්පාදනය චතුරංගයකින් යුක්ත විය යුතු ය. දශ පාරමීන් අතුරෙන් එකකුදු අඩු නො කොට සියල්ල ම සම්පාදනය කිරීම ඉන් එක් අංගයෙකි.

ඒවා සම්පාදනය කරන කල්හි දු පලක් නැති වැඩක් කරන්නාක් මෙන්, අනුන් ගේ වුවමනාවකට වැඩක් කරන්නාක් මෙන්, නො සැලකිල්ලෙන් නො කොට, ඉතාම ආදරයෙන් ගෞරවයෙන් සම්පාදනය කිරීම එක් අංගයකි.

දුර ගමනක් යන රෝගියකු නැවති නැවතී යන්නාක් මෙන් පාරමිතා සම්පාදනය කලින් කල නො නවත්වා දිගට ම කර ගෙන යෑම එක් අංගයකි.

කලක් පාරමිතා සම්පාදනය කොට අතහැර නො දමා කොතෙක් කල් හෝ ලොවුතුරා බුදු බවට පැමිණෙන තෙක් ම පාරමී සම්පාදනය කිරීම එක් අංගයෙකි. මේ අංග සතර මහ බෝසතුන්ගේ පාරමී සම්පාදනයේ උපාය සතරෙකි.

තව ද මහා බෝධිය පතන්නහු විසින් පළමු කොට “මාගේ මේ ආත්මභාවය බුදුවරුන්ට පිරිනමමි” යි බුදුවරුන්ට ආත්ම පූජාව කළ යුතු ය. “මා හට ලැබෙන්නා වූ ද, මා විසින් සපයන්නා වූ ද යම් වස්තුවක් වේ නම් ඒ සියල්ල වුව ද යාචකයන් ඇති වුව හොත් දන් දෙමි ය. දී ඉතිරි වූ දෙයක් වේ නම් එ පමණක් ම මාගේ ප්‍රයෝජනයට ගනිමි” යි ලබන්නට පළමු ව ම සියලු වස්තුව දීමට නියම කර ගත යුතු ය. දන් දීමට ඇති බාධක සතර දුරු කර ගත යුතු ය.

දන් දිය හැකි වීමට දීමේ පුරුද්ද තිබිය යුතු ය. නුපුරුද්ද දානයට එක් බාධකයෙකි. දාන වස්තුන් ද තිබිය දී ප්‍රතිග්‍රාහකයන් සිටිය දී යාචකයන් ඉල්ලද්දී දීමට සිත නො නැමෙන්නේ පුරුද්ද මඳ වීමෙනි. එකල්හි මහ බෝසත්හු සිතන්නාහු “මාගේ සිත දානයට නො නැමෙන්නේ පුරුද්දේ මඳ බව නිසා ය. මගේ වස්තුව ලබන්නට ද ප්‍රථමයෙන් මා විසින් දීමට නියම කර ගන්නා ලද්දේ ය. දැන් මා විසින් පුරුද්ද ඇතිවීම පිණිස දන් දීමට පටන් ගත යුතු ය” යි සිතා පළමු වන දාන බාධකය දුරු කර ගනිති.

දාන වස්තුන් මඳ බව හෙවත් දිළිදු කම දාන පාරමිතාවට ඇත්තා වූ එක් මහත් බාධකයෙකි. දීමට වස්තුව මඳ කල්හි මහ බෝසත්හු දැන් මා දිළිඳුව සිටින්නේ පෙර නුදුන් නිසා ය. මා විසින් දැන් ඇති සැටියට ස්වල්ප වශයෙන් හෝ දීම කළ යුතු යි සිතා ඇති සැටියට දන් දෙන්නට පටන් ගැනීමෙන් දෙ වන දාන බාධකය දුරු කර ගනිති.

සිය ගණන් දහස් ගණන් වස්තූන් ඉල්ලන කල්හි එතෙක් දීමට සිත නමා ගැනීම පහසු නො වේ. දහස් ගණන් ලක්‍ෂ ගණන් වටිනා දේවල් ඉල්ලන කල්හි ඒවා දීමට සිත නමා ගැනීම ද දුෂ්කර ය. ඉල්ලන දේවල් වැඩි වීම, දාන වස්තුවල වටිනාකම වැඩිවීම, දාන වස්තූන් උසස් දේවල් වීම දීමට එක් බාධකයෙකි. එබඳු අවස්ථාවල දී මහ බෝසත්හු “මා විසින් පතන දෙය වූ ලොවුතුරා බුදු බව සියල්ලටම උසස් දෙයක, වටිනාකම පමණ කළ නො හෙන දෙයක, බොහෝ වස්තූන් නො දී, උසස් වස්තූන් නොදී ලොවුතුරා බුදු බව නැමැති උසස් දෙය නො ලැබිය හැකි ය. මා විසින් ඒ උසස් දෙය ලැබීම සඳහා බොහෝ වස්තූන් දිය යුතුය. වටිනා වස්තූන් දිය යුතු ය. උසස් වස්තූන් දිය යුතු යයි සිතා තුන් වන දාන බාධකය දුරු කර ගනිති.

නිතර දන් දීම කරගෙන යන්නහුගේ වස්තුව ක්‍රමයෙන් හීන වන්නේ ය. නො නවත්වා දීගෙන යන දායකයා ක්‍රමයෙන් දිළිඳු වේ. දිළිඳු බව මහ දුකෙකි. එබැවින් වස්තු හීනත්වය ගැන සිහිවීම එක් දාන බාධකයෙකි. දීමෙන් වස්තුව හීන වී දිළිඳු වූ මහ බෝසත්හු වස්තුවේ අනිත්‍යතාව හා පෙර දන් දුන්නා මඳ බැවින් දිළිඳු වන බව ද සිතා ඒ බාධකය දුරු කර ගෙන ඇති සැටියෙන් දන් දීම කරති. ශීලාදි පාරමීන් සම්පාදනය කිරීමේ උපාය ද දාන පාරමිතාව සම්බන්ධයෙන් කියන ලද කරුණු අනුව සිතාගත යුතුය.

බුදුවරයන් හට තමන්ගේ ආත්මය භාර කිරීම හෙවත් පුජා කිරීම ද පාරමී සම්පාදනයේ උපායෙකි. කලින් ම තමන්ගේ ආත්මය බුදුවරුන්ට පූජා කොට බුදුවරුන්ට කැප කොට පැරුම් බිමට බැස වීර්‍ය්‍ය කර ගෙන යන්නා වූ මහ බෝසත්නට තමන් ගේ ධනයට හා අඹු දරුවන්ට ද ජිවිතයට ද හානි වන්නා වූ කිනම් උපද්‍රවයක් කුමකින් හෝ කවර පුද්ගලයකුගෙන් හෝ පැමිණියත් මාගේ ආත්මය බුදුවරුන්ට පුදන ලද්දක් ය, මට වන විපතක්, වන හානියක් වේවා, කුමක් වුවත් කම් නැත යයි පාරමිතා භූමියෙන් පහ නො වී එහි ස්ථිරව සිටිය හැකි වේ. එබැවින් මහ බෝසතුන් ගේ ආත්ම පූජාව සකල පාරමිතාවන් ගේ ම සම්පාදනෝපායක් වේ.

නාම-රූප සංඛ්‍යාත සංස්කාරයන්ගේ හෙවත් ස්කන්ධ පඤ්චකයා ගේ අසාරත්වය සලකා ආත්මය කෙරෙහි ඇල්ම තුනී කර ගැනීම හා කරුණා මෛත්‍රීන් දියුණු කිරීමෙන් පර සත්ත්වයන් කෙරෙහි ස්නේහය දියුණු කර ගැනීමත් පාරමී සම්පාදනයේ උපායයෝ ය. ආත්ම ස්නේහය තුනී කර ගත් මහ බෝසත්නට බෝධි සම්භාර සම්පාදනයෙන් වන දුක් ගැහැට අලාභ හානි ඉවසිය හැකි වේ. පර සත්ත්වයන් කෙරෙහි දයාව දියුණු කර ගැනීමෙන් ඔවුන් උදෙසා කොතෙක් වුව ද දුක් ගත හැකි වේ. වෙහෙසිය හැකි වේ. තමන්ගේ ධනය හා සැපය ඔවුන් උදෙසා පරිත්‍යාග කළ හැකි වේ. එබැවින් ආත්ම ස්නේහය තුනී කර ගැනීම හා පර සත්ත්වස්නේහය දියුණු කර ගැනීම පාරමී සම්පාදනයේ උපාය වේ.

මෙතෙකින් දක්වන ලදුයේ මහා බෝධි පාරමිතා සම්පාදනයේ උපායයෝ ය. ප්‍රත්‍යේක බෝධි ශ්‍රාවක බෝධීන්ට පාරමී සම්පාදනය කිරීම මහා බෝධි පාරමිතා සම්පාදනය සේ බර වැඩක් නොවේ. එබැවින් ප්‍රත්‍යේක බෝධි සත්ත්වයන් හා ශ්‍රාවක බෝධිසත්ත්වයෝ මහ බෝසතුන් කරන පරිදි මහා පරිත්‍යාගයන් කොට මහ දුක් ගෙන පාරමී සම්පාදනයේ නො යෙදෙති. ඒ බෝධි දෙක සඳහා පාරමී සම්පාදනය කරනුවන් විසින් මහා බෝධි පාරමිතා සම්පාදනයේ උපාය වශයෙන් දක්වන ලද කරුණුවලින් තම තමන්ගේ තත්ත්වයට යෝග්‍ය කරුණු පාරමී සම්පාදනෝපාය වශයෙන් සලකා ගත යුතුය.

1. දාන පාරමිතාව

පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා අයත් දෙයක් කම් පල සලකා දීම දාන නම් වේ. අභිධර්ම ක්‍රමයෙන් කියත හොත් තමා අයත් දෙය දීම් වශයන් උපදනා චේතනාව දාන යැයි කියනු ලැබේ.

ආහාර පාන වස්ත්‍රාදි දාන වස්තූන්ට ද දාන යන නම කියති. මෙහි එය අදහස් කරනු නො ලැබේ. ගුණාදියෙන් තමාට උසස් අයට ගෞරව පෙරදැරිව කරන දීම පූජා නම් වේ. ගුණාදියෙන් තමා හා සම වූවන්ට ද පහත් වූවන්ට ද උපකාර වශයෙන් මෛත්‍රී කරුණා පෙරදැරිව දීම අනුග්‍රහ නම් වේ. ණයට දීම, ණය ගෙවීම, පඩි දීම, බදු ගෙවීම යනාදිය පූජා හෝ අනුග්‍රහ නොවන බැවින් දාන සංඛ්‍යාවටනො ගනු ලබේ. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් පවත්වන ලද දානය ම බෝධිත්‍රය අතුරෙන් යම් කිසිවක් හෝ නිවන හෝ පතා කරන කල්හි දාන පාරමිතාව නම් වේ. චර්‍ය්‍යාපිටකාර්ථ කතාවෙහි වනාහි:

කරුණූපාය කොසල්ල පරිග්ගහිතා අත්තූපකරණ පරිච්චාග චේතනා දානපාරමිතා” යයි කරුණාවෙන් හා උපා දන්නා නුවණින් වැළඳ ගන්නා ලද ආත්මෝපකරණ පරිත්‍යාග චේතනාව දාන පාරමිතාව යයි දක්වා තිබෙන්නේ මහා බෝධි සත්ත්වයන්ගේ දාන පාරමිතාව ය.

ලොවුතුරා බුදුවීමට විවරණ ලත් මහ බෝසත්හු එදින ම, “කුමක් කිරීමෙන් බුදු විය හැකි ද? බුදුවන්නට කල යුතු දේවල් කවරහු දැ” යි සිය නැණින් සොයති. එසේ බුද්ධ කාරක ධර්මයන් සොයන මහබෝසතුන් විසින් පළමු කොට දැක පළමුවෙන් සමාදන් වන්නා වූ ධර්මය දාන පාරමිතාව ය.

“හන්ද බුද්ධකරෙ ධම්මෙ විචිනාමි ඉතො චිතො

උද්ධං අධො දසදිසා යාවතා ධම්මධාතුයා.

විචිනන්තො තදා දක්ඛිං පඨමං දානපාරමිං

පුබ්බකෙහි මහෙසීහි අනුචිණ්ණං මහාපථං

ඉමං ත්වං පඨමං තාව දළ්හං කත්වා සමාදිය,

දානපාරමිතං ගච්ඡ යදි බොධිං පත්තුමිච්ඡසි”

මේ අප බෝසතුන් විවරණ ලැබ පාරමී ධර්මයන් සෙවීමේ දී දාන පාරමිතාව දැක සමාදන් වූ සැටි දැක්වෙන බුද්ධවංශ පාලියේ එන ගාථා තුනෙකි. ඒවායේ තේරුම මෙසේ ය:

මම දැන් මේ ධර්මධාතු සංඛ්‍යාත ලෝකයෙහි දෙව් ලොව ද මිනිස් ලොව ද යන සැම තැන ම දශ දිශාවෙහි ම ඔබ මොබ බුද්ධකාරක ධර්මයන් සොයමි.

සොයන්නා වූ මම එකල්හි පෙර බුදුවරයන් ගිය මහා මාර්ගය වූ දාන පාරමිතාව පළමු කොට දුටුයෙමි.

ඉදින් නුඹ සම්බෝධියට පැමිණෙනු කැමැත්තෙහි නම් පළමු කොට ම මේ දාන පාරමිතාව තද කොට ගනුව. දාන පාරමිතාව පුරව. - යනුයි.

දන් දීම සෑම දෙනාට ම කළ හැකි පහසු දෙයක් නොවේ. දන් දීමේ අපහසු කම දුප්පත් කම ම නොවේ. සුළු දෙයක් නොවටිනා දෙයක් තමනට ප්‍රයෝජනයක් නැති දෙයක් දීම සැමට ම කල හැකි වුවද, උසස් දෙයක්, වටිනා දෙයක්, දුනහොත් පාඩුවන තමාට ප්‍රයෝජනවත් දෙයක් දීම බොහෝ දුරට සිත දියුණු කරගත් - නුවණ දියුණු කරගත් අයට මිස, අන්‍යයන්ට නො කළ හැකිය. උසස් දේ නො දී, වටිනා දේ නොදී දාන පාරමිතාව සම්පූර්ණ නො කළ හැකිය. වටිනා දේ උසස් දේ දීම වනාහි යුද්ධයක් කිරීම සේ අමාරු වැඩක් බව “දානං ච යුද්ධං ච සමානමාහු” යනුවෙන් දක්වා තිබේ. උසස් දේ දීමේ දුෂ්කරත්වය දසණ්ණක ජාතකයේ මෙසේ දක්වා තිබේ. එය සත්තක නිපාතයේ ජාතකයෙකි.

පෙර බරණැස් නුවර විසූ මද්දව නම් රජෙක් ඉතා වටිනා දෙයක් දී එහි ආශාව නිසා රෝගාතුර විය. මානසික රෝගය බෙහෙත් වලින් සුව කළ නොහෙන බැවින් රජු සුවපත් කරනු පිණිස රජ මිදුලේ ක්‍රීඩා දැක්වීමක් කලහ. එහි එක් පුරුෂයෙක් දෙතිස් අඟලක් දිග තියුණු කඩුවක් ගිල්ලේය. රජ එය දැක පුදුම වී ලෝකයෙහි එයට වඩා තවත් දුෂ්කර දෙයක් ඇත්තේ දැ යි ඇමතියකුගෙන් විචාළේ ය. එකල්හි ඇමති තෙමේ -

“ගිලෙය්‍ය පුරිසො ලොභා අසිං සම්පන්න පායිනං

යොච වජ්ජා දදාමීති තං දුක්කරතරං තතො

සබ්බඤ්ඤං සුකරං ඨානං එවං ජානහි මාගධ”

මගධ රජ්ජුරුවනි, පුරුෂයෙක් ධන ලෝභයෙන් මුවහත් වූ අනුන්ගේ ලේ බොන්නා වූ කඩුව ගිලින්නේය. යමෙක් තමා අයත් දෙයක් අනුන්ට දෙමිය කියා නම් (දෙන්නට පොරොන්දු වේ නම්) එය කඩුව ගිලීමට වඩා දුෂ්කරය. ලෝකයෙහි ඇති අන් කරුණු සියල්ල ම පහසුය. දෙමි යයි කීම ම ඒ සියල්ලට දුෂ්කර වේ යයි කීයේ ය. එය අසා මගධ රජ අන් ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා තවත් දුෂ්කර දෑ ඇත්තේ දැයි විචාළේ ය. එකල්හි ඇමති තෙමේ කියනුයේ -

“න වාචමුපජීවන්ති අඵලං ගිරමුදීරිතං

යො ච දත්වා අවාකයිරා තං දුක්කරතරං තතො

සබ්බඤ්ඤං සුකරං ඨානං එවං ජානාහි මාගධ.”

මගධ රජ්ජුරුවනි, වචනය නිසා ජීවත් වන්නෝ නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක් කී සැටියට ම වස්තු ලෝභය දුරු කොට කී දේ දෙයි නම් එය ම දුෂ්කර කාරණය ය. ලෝකයේ ඇති අන් සියල්ල ම පහසු යයි කීයේය. එය ඇසූ රජතුමා මම පොරොන්දු වූ සැටියට ම දුෂ්කර දෙයක් කළෙමි යි සතුටු වී ශෝකය තුනී කර ගෙන: සමීපයේ සිටි මහ බෝසත් සේනක පඬිතුමා ගෙන් කියන ලද කරුණු දෙකට වඩා තවත් දුෂ්කර කරුණු ඇත්දැ යි විචාළේ ය. සේනක පණ්ඩිතයෝ කියන්නාහු-

“දදෙය්‍ය පුරිසො දානං අප්පං වා යදි වා බහුං

යො ච දත්වා නානුතප්පෙ තං දුක්කරතරං තතො

සබ්බඤ්ඤං සුකරං ඨානං එවං ජානාහි මාගධ”

මිනිස් තෙමේ ස්වල්ප වූ ද මහත් වූ ද දාන දෙන්නේය. යමෙක් උසස් දෑ වටිනා දෑ දී දුන් දෙය ගැන පසුව නො තැවේ නම්, එය ම දුෂ්කර කාරණය වන්නේ ය. මගධ රජ්ජුරුවනි, අන් සියල්ල ම එයට වඩා පහසු කරුණු යයි කීහ. මහ බෝසතුන් ගේ කීම අසා මගධ රජතුමා මම දැන් දුෂ්කර කරුණු දෙකක් සම්පූර්ණ කළෙමිය. මා වැන්නකුට දුන් දෙය ගැන ශෝක කිරීම නුසුදුසුය. ඒ තුන් වන දුෂ්කර කාරණය ද මා විසින් සිදු කළ යුතු යැයි සලකා ශෝකය දුරු කර ගත්තේ ය. දීමෙහි ඇත්තා වූ දුෂ්කරත්වය මේ කථාවෙන් දත හැකිය.

දීම කොතරම් දුෂ්කර කරුණක් වුව ද සම්බෝධියට පැමිණෙනු කැමතියන් විසින් එය කල යුතු ම ය. දන් දිය හැකි වන තරමට ධෛර්‍ය්‍යය දියුණු කර ගැනුමෙන් ද, නුවණ දියුණු කර ගැනීමෙන් ද, දීම පුරුදු කිරීමෙන් ද, උසස් දෑ දිය හැකි තත්වයට පැමිණිය හැකි ය. දාන පාරමිතා නො පිරිය හැකි තැනැත්තාට ඉතිරි පාරමිතා ද නො පිරිය හැකිය. දාන පාරමිතාව දියුණු කර ගත් තරමට ඉතිරි පාරමිතා ද පිරිය හැකි ය. දාන පාරමිතාව ගුණයන්ගේ ප්‍රතිෂ්ඨාව ය. දන් දීමට නො සමත් තැනැත්තා කෙරෙහි උසස් ගුණ නො පිහිටිය හැකි ය.

ඇතැමුන් දානය පහත් කොට සුළු කොට කථා කරන්නේ නො දැනීම හෝ කපටිකම හෝ නිසාය. දීම කෙනෙකුගේ ගුණ මැනීමේ කෝදුව ය. හැම ගුණයෝම පරිත්‍යාගය මුල් කොට ඇත්තෝය. ප්‍රාණඝාතයෙන් වැළකීම එක් ගුණයකි. රුපියලක් පරිත්‍යාග කිරීමට සමත් තැනැත්තේ රුපියලක ලාභය නිසා ද, රුපියලක අලාභය නිසා ද, ප්‍රාණඝාතය නො කරයි. එහෙත් ප්‍රාණඝාතයෙන් වැළකුම නිසා රුපියල් පහක දහයක අලාභයක් වත හොත් හේ ප්‍රාණඝාතයෙන් වැළකීමට සමත් නොවේ. රුපියල් පහක් දහයක් පරිත්‍යාග කිරීමට සමත් තැනැත්තා ම එයින් වැළකීමට සමත් වේ. රුපියල් දහසක් පරිත්‍යාග කිරීමට සමත් තැනැත්තේ දහසක ලාභයටද ප්‍රාණඝාතයෙන් වැළකීමට සමත් වේ. දහසකට වන අලාභය රැක ගැනීම පිණිස ද ඔහුට ප්‍රාණඝාතයෙන් වැළකිය හැකිය.

අඹුදරුවන් පරිත්‍යාග කිරීමේ ශක්තිය ඇති තැනැත්තාට අඹු දරුවන්ට හානි කරන අඹු දරුවන් නසන්නට තැත් කරන සතුරා නොමරා ප්‍රාණ ඝාතයෙන් වැළකිය හැකිය. ජීවිතය පරිත්‍යාග කිරීමේ ශක්තිය ඇති තැනැත්තා හට දිවි නසන්නට තැත් කරන සතුරා නො නසා ප්‍රාණඝාතයෙන් වැළකිය හැකි ය. මෙසේ ඒ ඒ පුද්ගලයන්ට කවර ගුණ ධර්මයක් වුවත් පිරිය හැකි වන්නේ, ගුණ ධර්මයෙහි පිහිටා සිටිය හැකි වන්නේ ත්‍යාග ශක්තියේ හැටියට බව දත යුතුය.

ගුණ ධර්මයන් ගේ වටිනා කම, ප්‍රමාණ කරනු ලබන්නේ ද ත්‍යාගයෙනි. ශතයක් වත් අලාභය ඉවසීමේ ශක්තිය නැති තැනැත්තා විසින් සිල් සමාදන් වී නිකන් සිටින කාලයේ කීමට පමණක් රක්නා ශීලය ශතයකුදු නො වටනේය. රුපියලක් රැක ගැනීමට හෝ රුපියලක් ලබා ගැනීමට හෝ සිකපදය නො ඉක්ම වන්නා ගේ ශීලය රුපියලක් වටනේය. රුපියල් සියයක් දහසක් දසදහසක් ලක්‍ෂයක් කෝටියක් නිසා කඩ නො කරන්නා වූ ශීලය ඒ ඒ තරමට වටනේය. අඹු දරුවන් නිසා නො කඩ කරන ශීලය අඹු දරුවන් පමණ ද, ශරීරාවයවයන් නිසා නො කඩ කරන ශීලය ශරීරාවයවයන් පමණද, ජීවිතය නිසා නො කඩ කරන ශීලය ජීවිතය පමණ ද වටිනා බව දත යුතුය. ඉතිරි ගුණ ධර්මයන් ගේ වටිනා කම් ද කියන ලද්දට අනුව තේරුම් ගත යුතුය. මෙසේ ත්‍යාග ශක්තිය ම ගුණ ධර්මයන්ගේ ප්‍රතිෂ්ඨාව ද මිම්ම ද වන බැවින් දාන පාරමිතාව ගුණ ධර්මයන් ගේ රජ බව කිව යුතු ය. එබැවින් මහ බෝසත්හු පළමු කොටම එය සමාදන් වෙති.

දාන පාරමිතාව පාරමීන්ගේ රජ වතු දු, බෞද්ධයන් සැම දෙන නිවන් පතන නමුදු, වර්තමාන බෞද්ධයන්ගෙන් වැඩි දෙනෙක් දාන පාරමිතාවේ ඉතා පහත් තැනක සිටින්නෝ ය. දීමේ ශක්තිය තබා තව ම බොහෝ බෞද්ධයන්ට දාන කථාව ඇසිය හැකි ශක්තියවත් ලැබී නැත. ඔවුහු දන් දීම ගැන කථා කළ හොත් බණ කියුව හොත් ධර්මකථිකයාට පවා බැණ බැණ යෙති. දාන කථා ශීල කථා ස්වර්ග කථාදිය පිළිවෙළින් කියමින් දහම් දෙසීම කළ යුතු වුවද ඔවුන්ගේ කරදරය නිසා වර්තමාන ධර්මකථිකයනට දාන කථාව හැර දමා දහම් දෙසන්නට සිදු වී තිබේ. ගිහියන්ගේ තත්ත්වය පමණක් නොව මේ අතින් පැවිද්දන්ගේ තත්වය ද සංවේග ජනකය.

අකීර්ති තාපසයන් වහන්සේ තමන් වහන්සේට වළඳන්නට තුබූ ආහාරය පිළිවෙළින් තෙදිනක් තමන් නිරාහාරව සිටගෙන දන් දුන්නාහ. අපේ වර්තමාන පැවිදි උතුමන් වහන්සේලා ගෙන් ඇතැමෙක් දීම තමන් විසින් කළ යුත්තක් බව පවා නො දනිති. දීම ගිහියන්ට මිස පැවිද්දන්ට අයත් නොවන වැඩක් සැටියට ඔවුහු සිතති. මේ තත්ත්වයෙන් නො නැඟී සිටින තෙක් ඔවුනට නිවනට ලං විය හැකි නො වේ.

දාන පාරමිතාව පිරිය යුතු ආකරය

සැපයට හේතුවන උපකරණයෝ ය, ශරීරාවයවයෝ ය, ජීවිතය ය යන මේවා පරිත්‍යාග කිරීමෙන් ද, අන්‍යයන්ට පැමිණියා වූ ද, ඉදිරියට පැමිණිය හැකි වූ ද, භය දුරු කිරීමෙන් ද, ධර්මෝපදේශ දීමෙන් ද, දාන පාරමිතාව පිරිය යුතුය.

දන් දීම නුවණින් කළ යුත්තකි. ඒ ගැන දත යුතු කරුණු රාශියෙකි. සුදුසු ආකාරයන් නොසලකා, දුන්නා වීමට පමණක් දෙන දානයේ වටිනා කමක් නැත. නුවණින් ආරක්ෂිත නො වූ එබඳු දීම් පාරමිතා සංඛ්‍යාවට ද නො පැමිණේ. පාරමිතා කුශලය නුවණින් හාත්පසින් ගන්නා ලද්දක් ආරක්ෂා කරන ලද්දක් විය යුතු බැවින් පාරමිතා කුශලයක් වනු පිණිස දෙන තැනැත්තා සුදුසු සැටියට දෙන්නට දැන ගෙන ම දීම කළ යුතුය.

දෙන තැනැත්තා විසින් ප්‍රතිග්‍රාහකයන්ගේ තත්ත්වය සලකා තමාට වඩා ගුණාදියෙන් උසස් ප්‍රතිග්‍රාහකයනට පූජා වශයෙන් දීම කළ යුතුය. අනුග්‍රහ කිරීමට සුදුසු අයට අනුග්‍රහ වශයෙන් දිය යුතුය. ඒ දෙයාකාරයෙන් ම දීමට සුදුසු ප්‍රතිග්‍රාහකයාට දෙපරිද්දෙන් ම දිය යුතුය.

දාන වස්තුව කෙරෙහි ලෝභය මඳකුදු ඉතිරි කර නො ගෙන සම්පූර්ණයෙන් දුරු කොට දිය යුතුය. එය ද පහසු කාර්‍ය්‍යයක් නොවේ. ලෝභය ඉතිරි වී තිබෙන බව දායකයාට දැන ගැනීම ද පහසු නැත. දෙන බොහෝ දෙනා දුන් දෙය පිළිබඳ ලෝභය ඉතිරි කර ගෙන දෙන නමුත් ඒ බව ඔවුහු නො දනිති. “අසවල් හාමුදුරුවන්ට අසවල් පන්සලට මා මෙ පමණ දී තිබෙනවා ය. මෙ පමණ වැඩ කර තිබෙනවා ය. එහෙත් මට අසවල් දෙය දුන්නේ නැත. අසවල් දෙය කළේ නැත” ය යි ඇතැම් දායක භවතුන් භික්ෂූන්ට දොස් කියනු දක්නට ලැබේ. ඔවුන් එසේ දොස් කියන්නේ දුන් දෙය ගැන ආශාව හෙවත් බලාපොරොත්තුව ඉතිරි කර ගෙන දුන් නිසාය.

ඇතැම් භවත්හු එබඳු කරුණු නිසා ඉදිරියට දීම නවත්වති. එයින් තේරුම් ගන්නට තිබෙන්නේ ඒ භවත්හු දාන වස්තුව ගැන බලාපොරොත්තුව සම්පූර්ණයෙන් හැර දීමක් කරන්නට ම නො කැමති බව ය. දීමෙන් පසු තමන් දුන් දෙයට වූ දෙය, කළ දෙය, සොයන්නෝ ද ආශාව ඉතිරි කර ගෙන දුන් අය ය. දුන් දෙය පිළිබඳ ආශාව සම්පූර්ණයෙන් ම දුරු වුණා ද ඉතිරි වුණා ද යන බව දෙන අවස්ථාවේ දී දත නො හැකිය. ඉතිරි වී ඇති බව තේරුම් ගත හැකි වන්නේ එබඳු සිදුවීම් වල අනුසාරයෙනි. දෙන්නා වූ පින්වත්හු මේ සියුම් කරුණු තේරුම් ගැනීමට උත්සාහ කෙරෙත්වා. ආශාව ඉතිරි කරගෙන දෙන දාන උසස් දානයෝ නො වෙති.

දන් දීම ප්‍රතිග්‍රාහකයන්ට යහපතක් කිරීමකි. අනුග්‍රහයක් කිරීමකි. දෙන සෑම දීමකින් ම ප්‍රතිග්‍රාහකයන්ට යහපතක් සිදු නො වේ. ඇතැම් දීම්වලින් ප්‍රතිග්‍රාහකයන්ට සිදුවන්නේ අලාභ හා කරදරය. එබඳු දීම්වල ද වටිනා කමක් නැත. දිය යුත්තේ එයින් ප්‍රතිග්‍රාහකයාට හෝ අනෙකකුට හෝ විපතක් කරදරයක් අලාභයක් නො වන සැටියටය. ප්‍රතිග්‍රාහකයාට උපකාරයක් වන සැටියට ම ය. ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනයක් නො වන සැටියට ද, අලාභහානි වෙන සැටියට ද දෙන දානය, නො දීම ම යහපති. රෝගියකුට අපථ්‍යාහාරයක් අපථ්‍ය බෙහෙතක් දීම වැනි, ළදරුවකුට කැපෙන පිහියක් දීම වැනි දාන දීම නපුරකි.

ඇතැම් බෞද්ධයෝ ස්වකීය විහාරයෙහි ලෙහෙසියෙන් ආහාරයක් වළඳන භික්ෂුවට එය කර ගන්නට නො දී බොහෝ දුර කැඳවාගෙන ගොස්, වෙහෙසට පත් කරවා මහා සංග්‍රහයක් සැටියට සිතා ආහාරයක් දෙති. එබඳු දාන වලින් ප්‍රතිග්‍රාහකයාට වන ලාභය කරදර වීම පමණෙකි. ප්‍රතිග්‍රාහකයාට උපකාරයක් නොවන කරදරයක් ම වන එබඳු දාන දීම ම අනුන්ට කරන අවැඩකි. සමහර නිමන්ත්‍රණවලට යාමෙන් ආහාර ටිකක් හා නොවටිනා යම්කිසි සුළුදෙයක් ලැබෙතත් දවසක දෙකක වැඩ පාළු වීමෙන් ප්‍රතිග්‍රාහකයාට අලාභ වන ලෙස දීම ද අනුන්ට නපුරක් කිරීමෙකි.

ප්‍රතිග්‍රාහකයාට තමාගේ වැඩ පාළුවීමෙන් වන අලාභයට වඩා මහත් වූ ද, කරදරයට වඩා ප්‍රයෝජනවත් වූ ද, වටිනා සංග්‍රහයක් කිරීමට නම් දුර බැහැර කැඳවාගෙන ගොස් දීම ද වටනේ ය. යම්කිසි වස්තු වර්ගයක් වුවමනා පමණටත් වඩා ඇතියකුට ඒ දෙය ම දීම ද නිෂ්ඵල ය. පැවිද්දකුට කබායක් දීම වැනි, ගිහියකුට පාත්‍රයක් සිවුරක් දීම වැනි ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනයක් නැති දෑ දීම ද සංග්‍රහයක් නො වේ. බොහෝ දෙනෙකුට එක් දෙයක් දීම ද, ප්‍රතිග්‍රාහකයාගේ වුවමනාව නො පිරිමැසෙන ලෙස මඳ කොට දීම ද නිෂ්ඵල ය. එබඳු දීම් වල ද වටිනාකමක් නැත. කෙනකුට ආහාරයක් දෙත හොත් කුසගින්න නිවෙන පමණට දිය යුතු ය. වස්ත්‍රයක් දෙත හොත් ප්‍රතිග්‍රාහකයාට හැඳීමට හෝ පෙරවීමට හෝ අන් ප්‍රයෝජනයකට හෝ සෑහෙන වස්ත්‍රයක් දිය යුතුය.

දෙන තැනැත්තා විසින් ගිහියකුට දෙත හොත් ගිහියාට ප්‍රයෝජනවත් දෙයක් ද, පැවිද්දකුට දෙත හොත් පැවිද්දාට ප්‍රයෝජනවත් දෙයක් ද, ස්ත්‍රියකට දෙත හොත් ස්ත්‍රියකට ප්‍රයෝජනවත් දේ ද, පුරුෂයකුට දෙත හොත් පුරුෂයකුට ප්‍රයෝජනවත් දේ ද, බාලයකුට දෙත හොත් බාලයාට ප්‍රයෝජනවත් දෙය දො, තිරිසනකුට දෙත හොත් තිරිසනාට ප්‍රයෝජනවත් දෙය ද දිය යුතුය.

සත්ත්ව හිංසාවට පාවිච්චි කරන ආයුධ විෂාදිය නො දිය යුතු ය. මත්පැන් නො දිය යුතුය. අනර්ථයට හේතු වන ක්‍රීඩාභාණ්ඩාදිය නො දිය යුතුය. රෝගීන්ට අසත්ප්‍රාය ආහාරාදිය නො දිය යුතු ය. සත්ප්‍රාය දෙය වුව ද පමණ ඉක්මවා ඔවුනට නො දිය යුතුය. ගවාදි සතුන් දෙන කල්හි ඔවුනට නො සලකන අයට හා හිංසා කරන අයට නො දිය යුත්තාහ. කුනු වූ දිරූ දෙයක් අහක දමන්නාක් මෙන් අනාදරයෙන් නො දී ප්‍රතිග්‍රාහකයාට යහපතක් කිරීමේ අදහසින් කරුණා මෛත්‍රියෙන් ම දිය යුතු ය.

දාන වස්තුව පිළියෙල කිරීමේ දී ද දීමෙහි දී ද සිත පහදා ගෙන දිය යුතුය. දුන් පසු ද සිත පහදා ගත යුතුය. දුන් දෙය ගැන නැවත සොයන්නට නොයා යුතු ය. ප්‍රතිග්‍රාහකයන් නො වෙහෙසවා දිය යුතු ය. ප්‍රතිග්‍රාහකයන් ගෙන් හෝ අනිකකුගෙන් හෝ ප්‍රශංසා බලාපොරොත්තුව නො දිය යුතුය. ප්‍රත්‍යුපකාර බලාපොරොත්තුවෙන් නොදිය යුතුය. දීමෙන් සම්බෝධිය හෝ නිවන හැර අන් සැපතක් බලාපොරොත්තු නොවිය යුතුය. පැවිද්දන්ට දෙන කල්හි මා දෙන වස්තුවෙන් මුන් වහන්සේලා සුඛිත ව පහසුවෙන් පිළිවෙත් පුරා තම තමන්ගේ අභිමතාර්ථය සිදු කර ගනිත්වා යි සලකා දිය යුතුය. ගිහියන්ට දෙන කල්හි මාගේ වස්තුවෙන් මොවුහු සුඛිත වෙත්වායි, සලකා දිය යුතුය. තමන්ගේ දානය පිළිගත් අය ඉන් පසු කුමක් කෙරෙත් දැ යි වැඩි දුරට සොයන්නට නො යා යුතුය. එසේ කරන්නට යාමෙන් අපර චේතනාව නරක් වී කරගත් පිනේ ශක්තිය ද හීන විය හැකිය.

ප්‍රතිග්‍රාහක විභාගය

ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ සම්පත්තියද දානය මහත් ඵල වීමට කරුණෙකි. ගුණවත් ප්‍රතිග්‍රාහකයන්ට දෙන දානය මහත් ඵල වේ. ගුණ හීනයන්ට දෙන දානය අල්ප ඵල වන්නේය. එහෙත් දායකයා ගුණ සම්පන්න නම් කා හට වුව ද කරන දීම මහත්ඵල වේ. එබැවින්

“යො සීලවා දුස්සීලෙසු දදාති දානං

ධම්මේන ලද්ධං සුපසන්නචිත්තො.

අභිසද්දහං කම්මඵලං උළාරං

සා දක්ඛිණා දායකතො විසුජ්ඣති”

යි දක්ෂිණාවිභංග සූත්‍රයේ වදාරා තිබේ. යම් සිල්වතෙක් පහන් සිතින් දැහැමින් ලත් දෙය කර්ම කර්මඵලය විශ්වාස කොට දුශ්ශීලයන්ට දේ ද, ඒ දීම දායකයා ගේ වශයෙන් මහත්ඵල වන්නේය යනු එහි අදහස යි.

අන්‍ය සත්ත්වයන්ට - පුද්ගලයන්ට අනුග්‍රහ කිරීමේ අදහස උසස් ගුණයකි. ප්‍රධාන පව් සියල්ල ම අනුන්ට කරන නපුරුකම් ය. විපත් ය. අනුන්ට අනුග්‍රහ කිරීමේ අදහස යමෙකුට ඇති නම් හේ අනුන්ට අපරාධ නො කරන්නේ ය.

එබැවින් සිල් සමාදන් වූවත් නූවූවත් හේ සිල්වතෙකි. මහ බෝසත්හු නිතර ම අනුන්ට අනුග්‍රහ කිරීමේ අදහස ඇත්තේ ය. එබැවින් එතුමෝ නිතර ම සිල්වත්හු ය. ගුණවත්හු ය. තමන් ගුණවත් බැවින් මහබෝසතුන් විසින් දෙන දානය කවරකුට දුනත් එය උතුම් පිනක් වන්නේය. වෙසතුරු රජතුමා කිසි ගුණයක් නැති ජූජක බමුණාට දුන් දානය මහපොළොව ද සෙලවී ගිය මහ පිනක් වූයේ එහෙයිනි. මහබෝසතුන්ගේ දාන පාරමිතාව උපමා නැති තරම් විශාල ව්‍යාපාරයෙකි. එහි විශාලත්වය -

“සො සාගරෙ ජලධිකං රුධිරං අදාසි

භූමිං පරාජිය සමං සමදාසි දානං

මෙරුප්පමාණමධිකඤ්ච සමොලි සීසං

ඛෙ තාරකාධිකතරං නයනං අදාසි”

යනුවෙන් දක්වා තිබේ “ඒ මහබෝසතාණන් වහන්සේ සාගරයේ ජලයට අධික කොට ලේ දුන් සේක. මහ පොළොව පරදවා ඇඟ මස් දුන් සේක. මහමෙරේ ප්‍රමාණයට අධික කොට ඔටුනු පළන් හිස් දන් දුන් සේක. අහසේ තරුවලට අධික කොට ඇස් දුන් සේක"යනු එහි තේරුම යි.

සිල්වතුන් සොයා දන් දෙන්නට ගිය හොත් මහ බෝසත් කෙනකුට ඉහත කී වස්තූන් දෙන්නට කිසි කලෙක සිදු නො වන්නේ ය. කෙනකු ගේ ලේ මස් ඇස් ඉස් පිළිගන්නා සිල්වතා කවරේ ද? ඒවා පිළිගැනීමට කැමති වන සිල්වතුන් නො සෙවිය හැකි බැවින් මහ බෝසතාණන් වහන්සේ සාගර ජලය පරදවා ලේ දන් දෙන්නට ඇත්තේ ද දුශ්ශීලයන්ට ම ය. මහ පොළොව පරදවා ඇඟ මස් දෙන්නට ඇත්තේ ද දුශ්ශීලයන්ට ම ය. මහමෙර පරදවා හිස් දෙන්නට ඇත්තේ ද දුශ්ශීලයන්ට ම ය. අහසේ තරු පරදවා ඇස් දෙනට ඇත්තේ ද දුශ්ශීලයන්ට ම ය.

දන් දීම සඳහා සිල්වතුන් ම සොයන්නට ගිය හොත් මහ බෝසත් කෙනකුට දාන පාරමිතාව සම්පූර්ණ කොට කිසි කලෙක බුදුවන්නට නො ලැබෙන්නේ ය. එබැවින් මහ බෝසත්හු ප්‍රතිග්‍රාහක විභාගයක් නො කොට ම දන් දෙති. එහෙත් එතුමෝ ගුණවත් ප්‍රතිග්‍රාහකයන් ලත් කල්හි ඒ උතුමන්ට වඩා ආදරයෙන් දන් දෙති.

ප්‍රත්‍යේක බෝධි පාරමිතාව ගැන පොත පතේ දැක්වෙන කරුණු ඇත්තේ ස්වල්පයෙකි. ප්‍රතිග්‍රාහකයන් සම්බන්ධයෙන් ප්‍රත්‍යේක බෝධි සත්ත්වයන් ගේ පිළිපැදීමත් මහා බෝධි සත්ත්වයන්ගේ පිළිපැදීම වැනි විය යුතුය. ශ්‍රාවක බෝධි සත්ත්වයන් ගේ චරිත අනුව බලන කල්හි ප්‍රතිග්‍රාහකයන් සොයා දන් දීම ඔවුනට යහපත් බව කිව යුතුය. එහෙත් තමන් වෙත පැමිණෙන කවර ප්‍රතිග්‍රාහකයෙකුට වුව ද විභාගයක් නැතිව ශ්‍රාවක බෝධි සත්ත්වවරු ද දන් දෙති. ඔවුහු භික්ෂු භික්ෂුණී උපාසකෝපාසිකාවනට විශේෂයෙන් දන් දෙති.

කලින් සිය නිවෙස තීර්ථකයන්ට පැන් පොකුණක් කර තුබුණු උපාලි ගෘහපතිතුමා රත්නත්‍රය සරණ යාමෙන් පසු තීර්ථකයනට සිය නිවසට පැමිණීම තහනම් කළේය. භික්ෂු භික්ෂුණී උපාසකෝ-පාසිකාවන්ට සිය නිවස විවෘත කළේය. පැමිණෙන තීර්ථකයනට නිවසෙන් පිටතට ගෙන ගොස් දෙන ලෙස සේවකයනට අණ කළේ ය. තීර්ථකයන්ට දීම සම්පූර්ණයෙන් නො නැවැත් විය. ශ්‍රාවක බෝධිය පතනුවන් විසින් උපාලි ගෘහපතිතුමා ගේ දන් දීම ආදර්ශයට ගත යුතුය.

දුශ්ශීල දානය

මෙකල ඇතැමෙක් දුශ්ශීල දානය මහා පාපයකැ යි මහා අපරාධය කැ යි හඬ නගති. බුදුරජාණන් වහන්සේ දක්ෂිණාවිභංග සූත්‍රයෙහි දානමය කුශලය කුඩා මහත්වීම් වශයෙන් දක්ෂිණාර්හයන් හෙවත් ප්‍රතිග්‍රාහකයන් බෙදා දක්වා තිබේ. දුන හොත් දෙන තැනැත්තාට පව් සිදුවන නො දිය යුතු පුද්ගලයකු එහි හෝ අන් තැනක හෝ දක්වා වදාරා නැත. කවරකුට වත් නො දිය යුතු යයි බුදුන් වහන්සේ කොතැනකදී වත් නො වදාළ සේක. යමෙක් කාහට වුවත් නො දීමට අනුශාසනය කෙරේ නම්, හේ ප්‍රතිග්‍රාහකයාගේ ලාභය නැති කිරීමෙන් හා දායකයාගේ කුශලය නැති කිරීමෙන් ද පාපයක් කර ගන්නේ ය. තමාගේ සත්පුරුෂ ගුණය ද නැති කර ගන්නේ ය. දන් දීම් වැළැක්වීම ගැන බුදුන් වහන්සේ වදාරා තිබෙන්නේ මෙසේ ය.

“යො ඛො වච්ඡ, පරං දානං දදන්තං වාරෙති. සො තිණ්ණං අන්තරායකරො හොති, තිණ්ණං පාරිපන්ථිකො, කතමෙසං තිණ්ණං? දායකස්ස පුඤ්ඤන්තරායකරො හොති. පටිග්ගාහකානං ලාභන්තරාය කරො හොති, පුබ්බෙව ඛො පනස්ස අත්තා ඛතො ච හොති උපහතොව.”

(අංගුත්තර නිකාය - තික නිපාත)

“වච්ඡය, යමෙක් අනුන්ට දන් දෙන්නකු එයින් වළක්වා ද හේ තිදෙනකුට අන්තරාය කරන්නේ වේ. තිදෙනකුගේ වස්තුව පැහැර ගන්නා සොරෙක් වේ. කවර තිදෙනකුට හේ අන්තරාය කෙරේ ද? දායකයාගේ පිනට අන්තරාය කෙරේ. ප්‍රතිග්‍රාහකයාගේ ලාභයට අන්තරාය කරන්නේ වේ. පළමුවෙන් තමා ගේ සත්පුරුෂ ගුණය හාරා දැමූයේ වේ. සත්පුරුෂ ගුණය නැති කළ කෙනෙක් වේ” ය යනු එහි තේරුම යි.

උග්ග සිටු තුමාගේ චරිතය.

වැදෑ රට හස්ති ග්‍රාමයෙහි විසූ උග්ග සිටු තුමා ගේ චරිතය ද දන් දෙන්නවුන් විසින් සැලකිය යුත්තකි. එය අංගුත්තර නිකායේ අෂ්ටක නිපාතයේ ගෘහපති වර්ගයේ දක්නා ලැබේ. දිනක් තථාගතයන් වහන්සේ වැදෑ රට හස්ති ග්‍රාමයෙහි වැඩ වෙසෙන සේක්, උග්ග සිටු තුමා ආශ්චර්‍ය්‍ය කරුණු අටක් ඇති කෙනෙකැ යි වදාළ සේක. එය ඇසූ එක් භික්ෂුවක් උග්ග සිටු තුමා වෙත ගොස් “මහතාණෙනි, ඔබ කෙරෙහි ආශ්චර්‍ය්‍ය කරුණු අටක් ඇතහ යි තථාගතයන් වහන්සේ වදාළ සේක. පින්වත! ඔබ කෙරෙහි ඇති ඒ ආශ්චර්‍ය්‍ය කරුණු මොනවා දැ යි අපි දැන ගනු කැමැත්තම්හ. අපටද ඒවා කියනු මැනව” යි කීහ.

උග්ග සිටුතුමා තමා කෙරෙහි ඇති ආශ්චර්‍ය්‍ය කරුණු අටක් ඒ භික්ෂුවට ප්‍රකාශ ‍කෙළේය. භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේ වෙත ගොස් උග්ග සිටු තුමා කී කරුණු උන්වහන්සේට සැළකළහ. තථාගතයන් වහන්සේ ඒ සියල්ල එසේ ම යයි ස්ථිර කළ සේක. පිළිගත් සේක. ඒවා දනු කැමැත්තන් විසින් අංගුත්තර නිකායෙන් බලාගත යුතුය. ඒවායින් එක් කරුණක් දැක්වෙන්නේ මෙසේ ය.

අනච්ඡරියං ඛො පන භන්තෙ, සංඝෙ නිමන්තිතෙ දෙවතා උපසංකමිත්වා ආරොචෙන්ති, අසුකො ගහපති භික්ඛු උභතො භාග විමුත්තො, අසුකො පඤ්ඤා විමුත්තො, අසුකො කායසක්ඛී, අසුකො දිට්ඨිප්පත්තෝ, අසුකො සද්දාවිමුත්තො, අසුකො සද්ධානුසාරි, අසුකො ධම්මානුසාරි, අසුකො සීලවා කල්‍යාණ ධම්මො, අසුකෝ දුස්සීලො පාපධම්මොති, සංඝං ඛො පනාහං භන්තෙ පරිවිසන්තො නාභිජානාමි එවං චිත්තං උප්පාදෙතා, ඉමස්ස වා ථොකං දෙම ඉමස්ස වා බහුකන්ති, අථඛ්වාහං භන්තෙ සමචිත්තොව දෙමි. අයං ඛො මෙ භන්තෙ ජට්ඨො අච්ඡරියො අබ්භූතො ධම්මො සංවිජ්ජති.”

මේ උග්ග සිටුතුමා ඔහුගේ එක් ආශ්චර්‍ය්‍ය කරුණක් ඒ භික්ෂුවට සැලකළ සැටි දැක්වෙන අංගුත්තර නිකායේ එන පාඨයෙකි. ඒ පාඨයෙන් දැක්වෙන්නේ උග්ග සිටුතුමා සංඝයා හට ආරාධනා කොට දන් දෙන්නට සැරසෙන විට රාත්‍රියෙහි දෙවියන් අවුත් ඒ සිටුවරයාට පසු දින දන් පිළිගැනීමට පැමිණෙන භික්ෂූන්ගේ තතු කියන බවත්, එතුමා “මේ භික්ෂුව සිල්වත්ය. මේ භික්ෂුව දුශ්ශීල ය” යි දැන ගෙන ම දන් දෙතත් සිල්වතුන්ට වැඩි කොට දෙන්නටත් දුශ්ශීලයන් ට මඳ කොට දෙන්නටත් නො සිතා, රහත් නො රහත් සිල්වත් දුසිල් සැමට සම සිතින් සම සේ දෙන බවත් එතුමා කෙරහි ඇති සවන ආශ්චර්‍ය්‍ය කරුණ බව ය.

උග්ග සිටුතුමා අනාගාමී ආර්‍ය්‍ය පුද්ගලයෙකි. දුශ්ශීලයනට දීම පාපයක් නම් අනාගාමී පුද්ගලයෙකු වූ උග්ග සිටුතුමා දැන දැන ම කෙසේ නම් දුශ්ශීලයනට දන් දේ ද? නො දේ ම ය. ඇතැමුන් කියන සැටියට දැන දැනම දුශ්ශීලයනට දන් දීම පපයක් නම්, බුදුන් වහන්සේ එය උග්ග සිටුතුමා ගේ මහා ගුණයක් කොට ආශ්චර්‍ය්‍ය කරුණක් කොට නො වදාරන සේක. මේ කාරණයෙන් පෙනෙන්නේ දුශ්ශීලයන් හැර සිල්වතුන් තෝරා දන් දෙනවාට වඩා හැමට ම දීම උසස් බව ය. දුශ්ශීලයන්ට දන් දීම පාපයකැ යි කියන්නවුන් එසේ කියන්නේ ආගම නො දැනීම නිසා හෝ ඊර්‍ය්‍යාව නිසා හෝ වඩ වඩා ලාභ උපදවා ගැනීම පිණිස හෝ විය යුතුය.

කෛරාටික කම වැඩි වැඩි පමණට වඩ වඩා සිල්වතකු සැටියට ලොවට පෙනී සිටිය හැකි ය. එබැවින් කෙනෙක් සිල්වත් ද දුශ්ශීල ද කියා තේරුම් ගැනීම පහසු නොවේ. ලෝකයා විසින් උග්‍ර සිල්වතුන් සැටියට සලකන අය අතර දුශ්ශීලයන් සිටිය හැකි ය. දුශ්ශීලයන් කොට සලකන අය අතර හොඳ සිල්වතුන් ද සිටින්නට බැරි නැත. කෙනෙක් සැබෑවට සිල්වත් ද? නැත ද? යන බව තේරුම් ගත හැකි වන්නේ බොහෝ කල් ළඟින් ආශ්‍රය කළ හොත් ය. එසේ කළත් ඒ බව කල්පනා කරන්නකුට මිස සැමට ම තේරුම් ගත නො හැකි ය. ධර්ම විනය දෙක දත් නුවණැතියකුට මිස අනිකකුට තේරුම් නො ගත හැකිය. එ බැවින් බුදුන් වහන්සේ කොසොල් රජතුමාට,:

සංවාසෙන ඛො මහාරාජ සීලං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං මනසි කරොතා නො අමනසිකරොතා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන

යනු වදාළ සේක. අනුන් ගේ තතු සොයා ගැනීම පහසු කාර්‍ය්‍යයක් නො වන බැවින් දානපාරමිතාව පුරන පින්වතා විසින් කවරකුට වුව ද දී තමා ගේ පාරමිතාව සම්පූර්ණ කර ගත යුතු ය. දන් දීමට සිත නමා ගැනීමට දුෂ්කර වී තිබෙන්නේ බොහෝ දෙනාට අනුන් ගේ නුගුණ සෙවීම ම පුරුදු වී තිබෙන බැවිනි. අනුන් ගේ අගුණ සොයන අගුණ ගණන් ගන්නා ස්වභාවය හැර දමා අනුන්ගේ ගුණ සොයන කෙනකු විය යුතු ය. ලෝකයෙහි ගුණයක් ඇත්තේ ම නැති අගුණ ම ඇති පුද්ගලයෙක් සෙවිය නො හැකි ය. යම් කිසි එක් ගුණයක්වත් කා කෙරෙහිත් ඇත. ප්‍රතිග්‍රාහකයා ගේ අගුණ සිහිකරන්නට නො ගොස් ඔහු කෙරෙහි ඇති ගුණයක් සොයා සිත පහදා ගැනීමෙන් දීම කළ හැකි වේ.

ප්‍රතිග්‍රාහකයා හරක් මරන්නේ නම් හේ මිනී නො මරන්නේය, මිනී මරන්නකුට වඩා මේ හරක් මරන්නා ගුණවතෙකැ යි සිතා ගත යුතු ය. ප්‍රතිග්‍රාහකයා මිනීත් මරන්නේ නම් ඔහු මා පියන් නො මරන්නේ ය‚ මා පියනුත් මරණ මේ ලෝකයෙහි මා පියන් නො මරන මොහු හොඳය යි සිතා ගත යුතු ය. මෙසේ අනුන්ගේ ගුණ දක්නට පුරුදු කර ගැනීමෙන් දාන පාරමිතාව පිරීම පහසු වේ. දීම කරුණාව පෙරදැරි කර ගෙන කරන්නා හට දුශ්ශීලයාට දීම වඩාත් පහසු ය.

සිල්වතා ය, දුශ්ශීලයා ය යන දෙදෙනාගෙන් වඩා කරුණාවට පාත්‍ර වන්නේ දුශ්ශීලයා ය. දුශ්ශීලයා දුශ්ශීල භාවයෙන් මෙලොව පිරිහෙයි. මරණින් මතු ද අපාගත වෙයි. එබැවින් හේ අනුකම්පා කළ යුත්තෙකි. මරණින් මතු අපාගත වී මහ දුකට පත් වන්නට සිටින මොහු මාගේ දානයෙන් මඳ සුවයක්වත් ලබාවා යි අනුකම්පා වශයෙන් දුශ්ශීලයාට දිය හැකි ය. දුශ්ශීලයාට දීම පාපයක යන ඇතැම් භවතුන් ගේ කීම ගැන මුළා වී සිල්වතුන් ම සොයන්නට නො සිට කා හට හෝ දන් දී දාන පාරමිතාව සම්පූර්ණ කෙරෙත්වා.

දානයේ ප්‍රභේද

ත්‍රිවිධ දානය

ආමිස දානය, අභය දානය, ධර්ම දානය යි දානය තුන් වැදෑරුම් වේ. මිනිසුන් ගේ හා අන්‍ය සත්ත්වයන්ගේ ද සැපයට හේතු වන ආහාර පානාදි වස්තූන් කම්පල අදහා දීම ආමිස දාන නම් වේ. සත්ත්වයන්ගේ සැපයට හේතු වන නිරවද්‍ය වූ සකල අවිඥානක සවිඥානක වස්තූහු දිය යුත්තාහ. එබැවින් දාන වස්තූන් ගේ වශයෙන් කියත හොත් බොහෝ ආමිස දානයෝ ඇත්තාහ.

සංක්ෂේපයෙන් කියත හොත් බාහිර වස්තු දානය ය, ආභ්‍යන්තරික වස්තු දානය යි ආමිස දානය දෙ වැදෑරුම් බව කිව යුතුය. ආහාර - පාන - වස්ත්‍ර - බෙහෙත් - කෙත් - වතු - රන් - රිදී - මුතු - මැණික් - මිල - මුදල් - ගේ - ඇඳ - පුටු - මේස - පැදුරු - කොට්ට - කැති - උදලු - නගුල් - වෑ - පොරෝ - පිහියා - මල් - සුවඳ - විලවුන් ආදී අවිඥානක වස්තූන් හා ඇත් අස්, මහිෂාදී සවිඥානක වස්තූන් ද දීම බාහිර දාන නම් වේ. ඇස් - ඉස් - මස් - ලේ ආදී තමාගේ ශරීරයේ කොටස් හා දාසත්වයට පැමිණීම් වශයෙන් සම්පූර්ණ ආත්ම භාවය ද දීම ආභ්‍යන්තරික වස්තු දාන නම් වේ.

අභය දානය යනු රජුන් ගෙන් හෝ සොරුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ සිංහ ව්‍යාඝ්‍රාදි නපුරු සතුන්ගෙන් හෝ යක්ෂ ප්‍රේතාදි භූතයන්ගෙන් හෝ ගින්නෙන් දියෙන් සුලඟින් හෝ සත්ත්වයනට භයක් පැමිණි කල්හි ඉන් ඔවුන් මිදවීම හා අනාගතයට ඇති විය හැකි විපත් නො වනු පිණිස ආරක්ෂාව ඇති කිරීමත් ය.

ධර්ම දානය යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාපේක්ෂාවන් නැති ව, අනුන්ට නිග්‍රහ කිරීමේ හෝ තමන් උසස් කිරීමේ හෝ අදහසින් තොරව, කරුණා මෛත්‍රියෙන් අන්‍යන්ට තථාගත ධර්මය කියා දීම ය, ධර්ම කථිකයන් ට සත්කාර කොට බණ කියවීම ය, දහම් පොත් පත් සම්පාදනය කිරීමය, දහම් පොත් පත් මුද්‍රණය කරවා හෝ මිළයට ගෙන හෝ දීම ය, ධර්මය උගන්වන ගුරුවරුන්ට ඒ සඳහා ආධාර කිරීම ය, ධර්මය උගන්නා ශිෂ්‍යනට ඒ සඳහා ආධාර කිරීම ය, දහම් හල් කරවීම ය, පොත් ගුල් පිහිටුවීම ය, තථාගත ධර්මයෙන් අන්‍ය වූ නිරවද්‍ය විද්‍යා ශාස්ත්‍ර උගැන්වීම ය, ඒවා උගන්වන තැන් ඇති කිරීම ය යන ආදිය සිදු කිරීම ය.

කරුණු කියා දී අබෞද්ධයන් බෞද්ධයන් කර වීම ය, බුදු සස්නෙහි නො පහන් අය පැහැද වීම ය, බෞද්ධ වූවන් සුචරිතයෙහි පිහිට වීම ය, සිල් සමාදන් නො වන්නවුන් සීල සමාදානයෙහි යෙදවීම ය, ගිහියන් පැවිදි කරවා බුදු සස්නට ඇතුළු කරවීම ය, පැවිද්දන් ශීලාදී ගුණයෙන් සම්පූර්ණ කිරීමෙහි යෙදවීම ය, රූපා - රූප ධ්‍යානයන් හා අභිඥා උපදවා ගැනීමෙහි උත්සාහවත් කරවීම ය, ශ්‍රාවක බෝධියෙන් නිවන් පතනුවන් විදසුන් වඩා මග පල ලබා ගැනීමෙහි උත්සාහ වත් කර වීම ය, ඒවාට උපදෙස් දීම ය, යෝගාවචරයනට අනුබල දීම ය යන මොහු ද ධර්ම දානයෝය.

චතුර්විධ දානය

චීවර දානය, පිණ්ඩපාත දානය, සේනාසන දානය, ගිලානපච්චය දානය යි විනය ක්‍රමයෙන් දාන සතරක් වේ. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගේ ශ්‍රාවක වූ භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී ශික්ෂමානා යන මොවුන්ගේ පහසුව සඳහා චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලානප්පච්චය යන මේ වස්තු සතර කොටස පිළිගැනීමට හා පරිභෝග කිරීමට අවසර දී වදාළ සේක.

චීවර යනු භික්ෂුන් වහන්සේලා හඳින පොරවන වස්ත්‍රවලට හා උන්වහන්සේලාට කැප වූ අන්‍ය වස්ත්‍ර වලට ද බුදු සස්නෙහි ව්‍යවහාර කරන නමෙකි. චීවර නාමයෙන් හඳුන්වන ඒ වස්ත්‍ර දීම චීවර දාන නම් වේ.

අරුණෝදයේ පටන් ඉර මුදුන් වීම තෙක් කාලය බුද්ධාදීන් ආහාර වළඳන කාලය යි. පිණ්ඩපාත යනු ඒ කාලයෙහි පමණක් කැපවූ ආහාර පානයන්ට නමෙකි. පිණ්ඩපාත නාමයෙන් හැඳින්වෙන ආහාර පානයන් දීම පිණ්ඩපාත දාන නම් වේ.

සේනාසන යනු වාසය කරන ගෙවලට හා නිඳන හිඳින ඇඳ පුටු ආදී වස්තුන්ට නමෙකි. සේනාසන නාමයෙන් හඳුන්වන වස්තූන් දීම සේනාසන දාන නම් වේ.

ගිලානප්පච්චය යනු බෙහෙත් පිණිස ගන්නා වස්තූන්ට නමෙකි. බෙහෙත් පිණිස ගත හැකි වස්තු පිණ්ඩපාත නාමයෙන් හඳුන්වන වස්තු අතර ද ඇත්තේ ය. බෙහෙත් වතු දු ඒවා ගිලානප්පච්ය නාමයෙන් හඳුන්වන වස්තු කොටසට ඇතුළු නොවේ. ඒවා ගැන විශේෂ විභාග විනයෙන් දත යුතු ය. විනයෙහි ගිලානප්පච්චය නාමයෙන් හඳුන්වන භික්ෂූන්ට විකාලයෙහි ද කැපවූ වස්තූන් දීම ගිලානප්පච්චය දාන නම් වේ.

සවැදෑරුම් දානය

රූපදාන ය, සද්දදාන ය, ගන්ධදාන ය, රසදාන ය, පොට්ඨබ්බදාන ය, ධම්මදානය යි දානය අභිධර්‍ම ක්‍රමයෙන් සවැදෑරුම් වේ.

රූප දානය යනු පැහැය දීමයි. පැහැය හෙවත් වර්ණය දීමක් වශයෙන් සලකා නිල් - රතු - කහ සුදු ආදී පැහැයයන් ඇහි පුෂ්ප වස්ත්‍රාදි වස්තූන් ද ශරීරය වර්ණවත් කිරීමට පාවිච්චි කරන සුනු වර්ග - කල්ක වර්ග බෙහෙත් වර්ග ද , ගෘහ වස්ත්‍රාදි වස්තූන් වර්ණවත් කිරීමට ගන්නා සායම් වර්ග ද දීම රූප දාන නම් වේ.

සද්ද දානය යනු හඬ දීම ය. ශබ්ධය මල් පොකුරක් සේ අතින් ගෙන අනෙකකුගේ අතට දිය හැක්කක් නොවේ. ශබ්ධය පූජා කරමි යි තුනුරුවන් උදෙසා ගණ්ඨා බෙර ආදිය වැයීම ය, මිල දී පූජා පිණිස අනුන් ලවා වාදනය කරවීමය. ශබ්ද දානය වශයෙන් සලකා සුදුසු තැන්වල ගණ්ඨා ආදිය පිහිටවීම ය, ධර්ම කථිකයනට හඬ වැඩෙන - හඬ මිහිරි වන බෙහෙත් පිදීම ය, ධර්ම ඝෝෂා කිරීමය. ශබ්දදාන වශයෙන් සලකා බණ පිරිත් කීම ය, කියවීම ය යන ආදීහු ශබ්ධ දානයෝ ය.

ගන්ධදානය යනු සුවඳ දීම ය. ගන්ධය ද රූප ශබ්දයන් මෙන් ම වස්තුවෙන් උපුටා අතට ගෙන අනෙකකු අතට දිය හැකියක් නො වේ. ගන්ධ දාන වශයෙන් සලකා සුවඳ ඇත්තා වූ මල් ආදි වස්තූන් තුනුරුවනට පිදීම ද අන්‍ය ප්‍රතිග්‍රාහකයන්ට දීම ද ගන්ධ දානය ය.

මධුර තික්තාදි රසයන් දීම රස දානය ය. රසය ද ආහාරාදි වස්තුවෙන් උපුටා දිය හැක්කක් නො වේ. රසය දෙමි ය, මේ මාගේ රස දානය යි සලකා රසය ඇත්තා වූ ආහාර පානාදිය දීම රසදානය වේ.

ඵොට්ටබ්බ යනු සැපුණු කල්හි ශරීරයට සැප දුක් ඇති වන වස්තූන්ට නමෙකි. එක ම වස්තුව සැපීමෙන් ශරීරයට සැප දුක් දෙක ම ඇති වන බැවින්, දීම සඳහා සැපීමෙන් ශරීරයට සැපය පමණක් ඇති වන වස්තු කොටස් නැත. ඵොට්ඨබ්බ දාන වශයෙන් සලකා ශරීර සුඛයට හේතු වන වස්තු ඇඳ - පුටු - ඇතිරිලි - කොට්ට - මෙට්ට ආදිය දීම ඵොට්ඨබ්බ දාන ය.

රූප ශබ්දාදි අරමුණු පසට අයත් නො වන සියල්ල ම ධම්ම නම් වේ. ඒවායින් කවරක් හෝ දීම ධම්ම දාන නම් වේ. ආමිස දාන, අභය දාන - ධම්ම දාන යන තෙ වැදෑරුම් දානයෙහි කියැවෙන ධර්මදානය අනෙකකි. අභිධර්ම ක්‍රමයෙන් කරන දාන විභාගයේදී කියන මේ ධර්ම දානය අනෙකකි. තුන් ආකාර දානයට අයත් වූ ඇතැම් ආමිස දානය ද අභය දානය ද ධර්ම දානය ද ආරම්මණ භේදයෙන් කියන ධම්ම දානයට අයත් වේ.

ආරම්මණ භේදයෙන් කියන ධර්මදානය, ඕජා දාන - පාන දාන -ජීවිත දාන යන මොවුන් ගේ වශයෙන් දත යුතුය. කිරි - වෙඬරු - ගිතෙල් - මී පැණි - සකුරු - තලතෙල් ආදී ඕජා බහුල වස්තූන් ඕජා දාන වශයෙන් සලකා දීම ඕජා දාන නම් වේ. පිපාසාව සන්සිඳවීමේ අදහසින් පිපාසාව නසන පාන වර්ග දීම පාන දාන නම් වේ. ජීවිත දාන වශයෙන් සලකා දිවි පැවැත්වීමට වුවමනා ආහාර පාන බෙහෙත් ආදිය දීම ය, රෝගීන්ට වෙදුන් පමුණුවා දීම ය, බන්ධන වලට හසුවී සිටින සතුන් මිදවීම ය, දැල් ආදී සතුන් මැරීමේ උපකරණ විනාශ කරවීම ය යන ආදිය ජීවිත දාන නම් වේ. ඕජා දාන - පාන දාන - ජීවිත දාන යන මේවා ධර්ම දානයෝ ය. ධර්ම දාන දෙකක් ඇති බැවින් අවුල් විය හැකිය. අවුල් නොකර ගත යුතු ය.

දාන පාරමිතාවේ ප්‍රතිපත්තිය

සැපයට හේතු වන බාහිර වස්තූන් හා ශරීරාවයවයන් ද ජීවිතය ද පරිත්‍යාග කිරීම ය, සත්ත්වයනට පැමිණියා වූ ද පැමිණෙන්නට තිබෙන්නා වූ ද භය දුරු කිරීම ය, ධර්මෝපදේශ දීමෙන් සත්ත්වයනට අනුග්‍රහ කිරීම ය, පිදිය යුත්තන් පිදීම ය යන මේවා දාන පාරමිතාවේ ප්‍රතිපත්ති ය ය.

මහ බෝසතුන්ගේ දාන පාරමිතා ප්‍රතිපත්තිය මෙසේ ය - බාහිර වස්තූන් දෙන්නා වූ මහ බෝසත්හු යමෙක් ලබනු කැමති වේ නම් ඒ දෙය ඔහුට දෙති. ප්‍රතිග්‍රාහකයා නො පතන, ඔහුට නො වුවමනා දෙය නො දෙති. ඒ ඒ අයට වුවමනා වස්තූන් තුමූ ම දැන, ඉල්ලන්නට කලින් ම ද ඒවා දෙති. දෙන කල්හි ද ආලය ඉතිරි කර නොගෙන සම්පූර්ණයෙන් ම නිරපේක්ෂව දෙති. දිය යුතු වස්තු ඇත හොත් ප්‍රතිග්‍රාහකයාට සෑහෙන පමණට ම ප්‍රතිග්‍රාහකයාගේ වුවමනාව පිරිමැසෙන සැටියට ම දෙති. දාන වස්තුව මඳ කල්හි ඇති සැටියට දෙති.

අනුනට අනර්ථ විය හැකි මත්පැන් විෂ ආයුධාදිය නො දෙති. අනර්ථයට හේතු වන ප්‍රමාදයට හේතු වන ක්‍රීඩා භාණ්ඩාදිය නො දෙති. ගිලනුන්ට හා යාචකයන්ට අහිත වූ දෑ නො දෙති. පමණට වඩා ද නොදෙති. ගිහියන්ට සුදුසු දෑ ගිහියන්ට දෙති. පැවිද්දන්ට සුදුසු දෑ පැවිද්දන්ට දෙති. මාපියෝ ය, අඹු දරුවෝ ය, මිතුරෝ ය, දාසයෝය, කම්කරුවෝ ය යන මොවුන්ගෙන් කිසිවකුට පීඩාවක් නො වන සැටියට ම දෙති. උසස් දෙයක් වටිනා දෙයක් දෙන්නට ප්‍රතිඥා කොට සුළු දෙයක් නො වටනා දෙයක් නො දෙති. හුඟක් දෙන්නට ප්‍රතිඥා කොට මඳක් නොදෙති. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා නො දෙති. ප්‍රත්‍යුපකාර බලාපොරොත්තුවෙන් නො දෙති. දීමෙහි දී සම්බෝධිය හැර අන් ඵලයක් බලාපොරොත්තු නො වෙති. යාචකයා හෝ දාන වස්තුව හෝ පිළිකුල් කොට නො දෙති.

දෙන තැනැත්තාට අලාභ කරන අවමන් කරන ගුණ නැති නො හික්මුණු යාචකයන්ට ද, අහක දමන්නාක් මෙන් නො දී ආදරයෙන් ම දෙති. කර්මය හා කර්ම ඵලය සඳහා ම දෙති. දුර සිට ගෙන්වා පැමිණි කල්හි පමා කොට දීම් ආදියෙන් යාචකයන් වෙහෙසවා නො දෙති. නො වෙහෙසවා ම දෙති. අනුන් රැවටීමේ අදහසින් හෝ බිඳවීමේ අදහසින් හෝ නො දෙති. අනුන්ට අනුග්‍රහ කිරීමේ ශුද්ධාධ්‍යාශයෙන් ම දෙති. දායකයාට කරදර කරන යාචකයන්ට ද රැවීමක් සැර කිරීමක් නො කොට ප්‍රිය වචනයෙන් කථා කොට ම දෙති.

යම් වස්තුවක් ගැන තමන් ගේ ආලය අධික බව දැනුණ හොත්, මහ බෝසත්හු අමාරුවෙන් වුව ද ප්‍රතිග්‍රාහකයන් සොයා ඒ දෙය ඉක්මනින් ම දෙති. ලෝභය වැඩෙන්නට නො දෙති. සුළු දෙයක් පමණක් ඇති කල්හි යාචකයකු පැමිණ ඒ දෙය ඉල්ලුවහොත් අකීර්ති පණ්ඩිතයන් තමන් නිරාහාරව සිට ගෙන දන් දුන්නාක් මෙන්, තමන් ගැන නො බලා යාචකයාගේ දුක තමන් බාර ගෙන තමන් පීඩා විඳිමින් යාචකයා සුවපත් කරති. යාචකයාගේ මනදොළ පුරවති.

ගවාදී සතුන් දෙන කල්හි ඔවුනට නො සලකන, වද දෙන අසත්පුරුෂයනට නොදී කරුණාවෙන් ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නා අයට ම දෙති. දාසයන් කම්කරුවන් අඹුදරුවන් දෙන කල්හි ඔවුන්ගේ කැමැත්ත නො ලබා ඔවුනට නො දන්වා නො දෙති. යක්ෂ රාක්ෂසාදීන්ට හෝ නපුරු මින්සුන්ට හෝ දැන දැන ඔවුන් නො දෙති. රජය දෙන කල්හි ද දැහැමින් සෙමෙන් රට පාලනය කරන සත්පුරුෂයෙකුට ම මිස ජනයා පෙළන රට වනසන අසත් පුරුෂයනට නො දෙති. මේ මහා බෝසතුන්ගේ බාහිර වස්තු දානයේ ප්‍රතිපත්තිය ය.

මහ බෝසතුන් ගේ අභ්‍යන්තර වස්තු දීමේ ප්‍රතිපත්තිය මෙසේය: දාසත්වයට පැමිණීම ය, අත් පා ලේ මස් ආදිය දීම ය යි අභ්‍යන්තර වස්තු දානය දෙවැදෑරුම් වේ. ලෝකයේ ඇතැම්හු කුසගින්න නිවා ගනු පිණිස හෝ යම්කිසි විශේෂ වස්තුවක් ලබනු පිණිස හෝ අනුන්ගේ දාසත්වයට පැමිණෙති. මහ බෝසත්හු තමන් තෘෂ්ණා දාසත්වයෙන් මිදෙනු පිණිස ද, ලොකයා තෘෂ්ණා දාසත්වයෙන් මුදවනු පිණිස ද, දාන පාරමිතාව පුරනුවස් තුමූ ම තමන්ගේ ආත්මභාවය අනුන්ට කැප කරති. බාහිර වස්තුවක් දෙන්නාක් මෙන් ම කිසිම පැකිළීමක් පසු බැසීමක් නැතිව, ලේ - මස් - අත් - පා ආදිය ශරීයයෙන් වෙන්කොට දෙති.

ආධ්‍යාත්මික වස්තූන් දෙන බෝසත්හු ඒවා නිෂ්ඵල වන ලෙස නො දෙති. යමකින් ප්‍රතිග්‍රාහකයා හට ඒකාන්තයෙන් ප්‍රයෝජන වන බව දත හොත් ඒ දෙය පමණක් ඔහුට දෙති. අනෙකක් නො දෙති. එතුමෝ මාරකායික දෙවියනට හෝ ප්‍රයෝජනයක් නැති ව හිංසාව පිණිස ඉල්ලන්නවුන්ට හෝ ඒවා නො දෙති. උමතුකම හෝ මෝඩකම හෝ නිසා ඉල්ලන්නවුන්ට ද නො දෙති. ප්‍රයෝජනයක් ඇති ව ඉල්ලන කෙනෙකු මුණ ගැසුණ හොත් එවැන්නන් දුර්ලභ බැවින් එකෙණෙහි ම දෙති.

දන් දීමෙන් මහ බෝසතුන් බලාපොරොත්තු වන කරුණු

ආමිස දානය දෙන්නා වූ මහ බෝසත්හු මේ දානයෙන් සත්ත්වයනට ආයුෂ - වර්ණ - සුඛ - බල - ප්‍රතිභාණාදිය හා අර්හත්වය ද නිපදවන්නෙමි යි ආහාර දෙති. සත්ත්වයන්ගේ තෘෂ්ණා පිපාසාව සන්සිඳවන්නෙමි යි පානයන් දෙති. ශරීරයේ රන්වන් පැහැය හා හිරි ඔතප් නමැති ආභරණයන් ද ලබමි යි වස්ත්‍ර දෙති. ඍද්ධි බලය හා නිර්වාණ සුඛය ලබනු පිණිස රථ වාහන දෙති. ශීල සුගන්ධය ලබනු පිණිස සුවඳ දෙති. බුද්ධ ගුණ ශෝභාව ලබනු පිණිස මල් හා සුවඳ දෙති. බෝධි මණ්ඩලය ලබනු පිණිස ආසන දෙති. තථාගත සෙය්‍යාව ඇතිවනු පිණිස යහන් දෙති. සත්ත්වයන්ට පිහිට විය හැකි වනු පිණිස ආවාස දෙති. පසැස් ලබනු පිණිස පහන් දෙති. ව්‍යාමප්‍රභාව පිණිස රූප දෙති. බ්‍ර‍හ්ම ස්වරය පිණිස ශබ්දය දෙති. සකල ලෝකයාට ප්‍රිය වනු පිණිස රසය දෙති. බුද්ධ සුඛුමාල භාවය පිණිස ස්ප්‍රෂ්ට දානය කෙරති. අජරාමර භාවය පිණිස බෙහෙත් දෙති. ක්ලේශ දාසත්වයෙන් මිදෙනු පිණිස දාසයනට නිදහස දෙති. සද්ධර්මාභිරතිය පිණිස නිරවද්‍ය ක්‍රීඩා රතියට හේතු වන වස්තූන් දෙති. සකල සත්ත්වයන් ම දරු බවට පමුණුවා ගනු පිණිස දරුවන් දෙති. සකල ලෝකයේ ම ස්වාමිත්වය පිණිස භාර්‍ය්‍යාවන් දෙති. මහාපුරුෂ ලක්ෂණ සම්පත්තිය පිණිස රන් රිදී මුතු මැණික් ආදිය දෙති. අනුව්‍යඤ්ජන සම්පත්තිය පිණිස නා නා විධ ආභරණයන් දෙති.

දහම් ගබඩාව ලබනු පිණිස වස්තු ගබඩා දෙති. ධර්මරාජ්‍ය ප්‍රතිලාභය පිණිස රාජ්‍යයන් දෙති. චක්‍ර ලක්ෂණයෙන් හෙබි පාදයන්ගෙන් මහබෝමැඩට ගමන් කළ හැකි වනු පිණිස පාදයන් දෙති. චතුරෝඝයෙන් එතර විය හැකි වනු පිණිස හා සත්ත්වයනට දහම් නැමති අත දිය හැකි වනු පිණිස අත් දෙති. ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ලබනු පිණිස කන්නාසාදිය දෙති. සමන්ත චක්ඛු නම් වූ සියල්ල දන්නා නුවණැස ලබණු පිණිස ඇස් දන් දෙති. දක්නා වූ ද, අසන්නා වූ ද, සිහි කරන්නා වූ ද, උවැටන් කරන්නා වූ ද, ජනයාට හිත සුව එළවන බුද්ධ ශරීරය ලබනු පිණිස ලේ මස් දෙති. සකල ලෝකයාට ම උතුම් වනු පිණිස උත්තමාංග නම් වූ හිස් දෙති.

එසේ දෙන්නා වූ බෝසත්හු අනේසන වශයෙන් නො දෙති. පරූපඝාතය පිණිස නො දෙති, භය නිසා නො දෙති, ලජ්ජාව නිසා නො දෙති, ප්‍රතිග්‍රාහකයන්ට කිපී නො දෙති. ප්‍රණීතය ඇති කල්හි එය සඟවා අප්‍රණීතය නො දෙති. තමන්ගේ උසස් බව පෙන්වීමට නො දෙති. අනුන් පහත් කිරීමට නොදෙති. ඵලය බලාගෙන නො දෙති. යාචකයන් පිළිකුල් කොට නො දෙති. අනාදරයෙන් නො දෙති. මනාකොට ම දෙති. සියතින් දෙති. සුදුසු කාලයෙහි ම දෙති. ගරු කොට දෙති. විභාගයක් නැති ව දෙති. තුන් කල්හි ම සොම්නසින් ම දෙති. දී නො පසුතැවෙති. ප්‍රතිග්‍රාහකයන් වශයෙන් මානාවමානය නො කොට දෙති. ප්‍රතිග්‍රාහකයන්ට ප්‍රිය කථාවෙන් ම දෙති. ආහාරය දෙන කල්හි වස්ත්‍රාදිය පිරිවර කොට දෙති. වස්ත්‍ර දෙන කල්හි ආහාරාදිය පිරිවර කොට දෙති. යානාදිය දෙන කල්හි ද එසේ ම පරිවාර වස්තූන් සමඟ දෙති. රූපදානය දෙන කල්හි ඉතිරි ආරම්මණයන් ද පිරිවර කොට දෙති. ශබ්ධ දානාදිය එසේම පිරිවර සහිත කොට දෙති.

මේ මහා බෝධිසත්ත්වයන් විසින් දානපාරමිතාව පුරන ආකාරය ය. එතරම් උසස් දාන පාරමිතාවක් නො පිරුයේද ප්‍රත්‍යේක බෝධියට හා ශ්‍රාවක බෝධියට පැමිණිය හැකි ය. එබැවින් ප්‍රත්‍යේක බෝධිසත්ත්වයන් හා ශ්‍රාවක බෝධිසත්ත්වයෝ මධ්‍යම ප්‍රමාණයේ දාන පාරමිතාවක් පුරති. ප්‍රත්‍යේක බෝධිසත්ත්වයන් හා ශ්‍රාවක බෝධිසත්ත්වයන් විසින් දාන පාරමිතාව පිරිය යුතු ආකාරය ද මහාබෝධි සත්ත්වයන්ගේ ප්‍රතිපත්තිය අනුව සලකා ගත යුතු ය.

දාන පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා විධිය

දීම හැම දෙනා විසින් ම නො කළ හැකි දුෂ්කර කාර්‍ය්‍යයක් බව ඉහත දක්වා ඇත. ඒ දුෂ්කර ක්‍රියාව සිදු කළ හැකි වීමට කාරණානුකූලව ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු ය. ප්‍රත්‍යවේක්‍ෂා කිරීම යනු කල්පනා කිරීම ය. සිතීම ය. එය කළ යුත්තේ මෙසේ ය.

ධනය බොහෝ දෙනා ඇලුම් කරන දෙයකි. එක් අයකු අයත් කරගෙන සිටින ධනය හැකි නම් ධන හිමියා මරා වුව ද ගනු කැමැත්ත ඇත්තෝ බොහෝ ය. අවකාශ ලද හොත් ඔවුහු ධනය පැහැර නො ගන්නාහු නො වෙති. එබැවින් ධනය තිබීම ධන හිමියාට අන්තරායෙකි. කෙනෙකුට ධනය තිබීම නො ඉවසන්නෝ බොහෝ ය. එබැවින් ධනය සතුරන් බෝවීමට හේතුවෙකි. ලෝකයේ ඇති වන කෝලාහල වලින් වැඩි කොටසක් ධනය නිසාම ඇති වෙයි. ධනය කෝලාහල ඇති වීමට ද වෛර ඇති කිරීමට ද හේතුවකි. ධනය ලැබීමට ද ආරක්ෂා කිරීමට ද බොහෝ දුක් ගත යුතුය. පර පීඩනාදී පව්කම් ද ඒ නිසා නොයෙක් විට කරන්නට සිදු වේ.

කෙසේ ආරක්ෂා කළත් ඒ ධනය රාජචෝරාදීන් විසින් පැහැර ගත හැකි ය. දිය - ගිනි - සුළං ආදියෙන් ද විනාශ විය හැකි ය. ධන විනාශයෙන් ද ශෝකාදී දුක් වේ. නො දී වියදම් නො කොට මසුරුකමින් රැස් කර ගෙන සිටින්නාවූ ධනය හිමියාට පලක් නැත. ඔහුට එයින් ඇත්තේ ආරක්ෂා කිරීමේ දුක පමණෙකි. මසුරු කමින් කිසිවකුට නො දී වියදම් නො කර ධනයට ඇලුම් කරමින් විසීම මරණින් මතු අපායෝත්පත්තියට ද හේතු වෙයි. දුක සේ රැස් කර ගත් ධනය වියදම් වීම ද ධන හිමියාට ශෝකයට කරුණෙකි. මෙසේ බලන කල්හි ධනය සෙවීම ය, ආරක්ෂා කිරීම ය, වියදම් වීම ය, විනාශවීම ය යන හැම කරුණකින් ම ධනහිමියාට ඇති වන්නේ දුක ය.

ධනය නිසා නෑයෝ නෑයන් මරති. සහෝදරයෝ සහෝදරයන් මරති. දරුවෝ මා පියන් මරති. අඹුවෝ සැමියන් මරති. සැමියෝ අඹුවන් මරති. මුල මැද අග යන තුන් තැන්හි ම දුක් ඇති කරන්නා වූ පව් ඇති කරන්නා වූ විශ්වාසය නො තැබිය හැක්කා වූ මහානර්ථකර වූ ධනයෙන් වන්නා වූ අන්තරායයන්ගෙන් මිදීමට ඇත්තා වූ එකම උපාය ඒ ධනය හැර දැමීමය. එයින් ගත හැක්කා වූ උසස්ම ප්‍රයෝජනය ද දන් දීම ය. දන් දීමෙන් ධනයෙන් ගත හැකි උසස් ප්‍රයෝජනය මා විසින් ගත යුතුය යි මෙනෙහි කළ යුතු ය.

මේ යාචකයෝ, හැරදමා පරලොව යන්නට සිදු වන ධනය ගෙන යාමට මා හට උපදෙස් දෙන ගුරුවරයෝ යයි ද, මරණ ගින්නෙන් දැවෙන මේ ලෝකයෙන් මාගේ ධනය බැහැර කර ගැනීමට උපකාර කාරයෝ යයි ද, බැහැර කරන්නා වූ මාගේ ධනය ආරක්ෂා කර තැබීමට ස්ථානයෝ යයි ද, දන් දීමෙහි යෙදීමෙන් මා හට ලොවුතුරා බුදුබව ලබා ගැනීමට ආධාර කරන කල්‍යාණ මිත්‍රයෝ යයි ද මෙනෙහි කළ යුතු ය.

ඒකාන්තයෙන් හැර යන්නට සිදුවන මේ ධනය ඉල්ලන්නට කලින් ම යාචකයනට දිය යුතුය. අමාරුවෙන් වුව ද ප්‍රතිග්‍රාහකයන් සොයා දිය යුතු වස්තුව ඉල්ලන්නට මා කරා යාචකයන් පැමිණීම මාගේ භාග්‍යයෙකි. යාචකයනට දීම් වශයෙන් මා කරන්නේ මා හට ම අනුග්‍රහයෙකි. යාචකයන් නැති වුවහොත් මා හට දාන පාරමිතාව පිරිය නොහෙන බැවින් මා විසින් ඔවුනට හැකි තාක් අනුග්‍රහ කළ යුතු ය. ඔවුනට දීම සඳහා මා විසින් වස්තුව සෙවිය යුතු යයි ද මෙනෙහි කළ යුතුය.

නො ඉල්ලා යාචකයෝ මගේ ධනය කවදා ගෙන යන්නාහු ද? කෙසේ මම යාචකයනට ප්‍රිය වෙම් ද? යාචකයෝ කෙසේ මා හට ප්‍රිය වන්නහු ද? කවදා මම දෙමින් සතුටු වන්නෙම් ද? කවදා මම දුන් දේ ගැන සතුටු වන්නෙම් ද? කෙසේ මා හට යාචකයෝ ඇති වෙත් ද? කෙසේ මා කෙරෙහි මහත් වූ දානාධ්‍යාශය ඇති වේ ද? බෝධිසත්ත්වයෙක් මි යි කියා ගන්නා මම යාචකයන් හා ධනය ද ඇති කල්හි නො දෙන්නේ නම් එය මාගේ මහා වඤ්චාවෙකැ යි ද මෙනෙහි කළ යුතුය.

අභ්‍යන්තර වස්තු දානය ගැන මෙනෙහි කළ යුතු ආකාරය මෙසේ ය: කෙසේ ආරක්ෂා කළත් යම්කිසි දිනයක දී ජීවිතය ඒකාන්තයෙන් නැසෙන්නේය, ශරීරය ද ඉන්පසු කුණුවී යාමෙන් හෝ සතුන්ට ආහාර වීමෙන් හෝ පොළොවට පස් වීමෙන් හෝ කෙළවර වන්නේ ය. ඊට කලින් ලේ - මස් ආදී ශරීරාවයවයන් හා ජීවිතය ද වුවමනා කෙනකුට දීම ම ඉන් ගත හැකි ප්‍රයෝජනය ගැනීම ය. එබැවින් ප්‍රතිග්‍රාහකයකු ලද හොත් මාගේ ලේ - මස් ආදිය ද ජීවිතය ද ඔහුට දිය යුතුය යි මෙනෙහි කළ යුතු ය.

ලේ මස් ආදිය හෝ ජීවිතය හෝ ඉල්ලන්නා කෙරෙහි කෝපය ඇති විය හැකිය. එසේ නොවනු පිණිස ඒවා ඉල්ලන අය ගැන මෙනෙහි කළ යුතු ආකාරය මෙසේය: යම්කිසි දවසක කුණු වී මිනිසුන්ට ලං විය නො හෙන තැනට පැමිණෙන්නා වූ මේ සිරුර ද, කෙසේ ආරක්ෂා කළත් පැවැත්විය නොහෙන ජීවිතය ද, උදාර අදහස් ඇති බෝසත්හු නිකම් ම විනාශ වී යන්නට කලින් ප්‍රතිග්‍රාහකයන් අමාරුවෙන් වුව ද සොය දන් දෙන්නාහ. ඒවා ගන්නා ප්‍රතිග්‍රාහකයෝ ද සුලභ නො වෙති. සෙවීමක් නො කොට මොහු මා වෙත පැමිණීම මාගේ වාසනාවෙක, මොහු මට බුදුබව ලබා දීමට පැමිණියෙක, මාගේ අදහස සිදු කිරීමට උපකාර වනු පිණිස පැමිණි මොහු ගේ අදහස ද මා විසින් සිදු කළ යුතු යයි ද මෙනෙහි කළ යුතු ය.

ලෝභය නූපදනාකාරයෙන් අප්‍රහීණ බැවින් සමහර විට බෝසතුන්ගේ සන්තානයෙහි ද එය නැඟී සිටිය හැකි ය. දාන වස්තූන් පිළිබඳ ලෝභය හෙවත් නො දෙනු කැමැත්ත ඇති වුව හොත් එය දුරු කර ගනු පිණිස මෙනෙහි කළ යුතු ආකාරය මෙසේය: සත්පුරුෂය, සම්බෝධිය පිණිස පින් රැස් කරන්නා වූ නුඹ මේ කය හා ජීවිතය ද, ඒ දෙක පරිත්‍යාගයෙන් ලැබෙන කුශලය ද, සියලු වස්තූන් ගේ යහපත පිණිස පරිත්‍යාග කෙළෙහි ය. එසේ කළ නුඹේ බාහිර වස්තු වලට ඇළුම් කිරීම වනාහි එළදෙන දී කඹයට ඇළුම් කිරීමක් වැන්න. එය නුඹට නුසුදුසු යයි මෙනෙහි කළ යුතු ය.

මිනිසුන් විසින් දලු කඩාගෙන යන, කොළ කඩා ගෙන යන, අතු කපා ගෙන යන, පොතු ගලවා ගෙන යන, මුල් උපුටා ගෙන යන මහත් වූ බෙහෙත් ගස ඒ ගැන කිසිවක් නො සිතන්නාක් මෙන් සකල ලෝකයාට ම යහපත සිදු කිරීමට බලාපොරොත්තු වන මා විසින් ද අනේක දුඃඛයන්ට උත්පත්තිස්ථාන වූ අපවිත්‍ර දෑ ගලන - උතුරන මේ සිරුර අනුන්ගේ යහපත පිණිස යෙදවීමෙහි දී කිසිදු නො මනා අදහසක් ඇති කර ගත යුතු නොවේ යයි ද සිතිය යුතු ය.

ඒකාන්තයෙන් බිඳෙන - දිරන - විසිරෙන ස්වභාවය ඇති ධාතු සමූහයක් වූ මේ සිරුරෙහි හා බාහිර වස්තූන්ගේ ද කිසි වෙනසක් නැත. මේ සිරුර මම ය කියා ද මාගේ ආත්මය කියා ද ගැනීම සම්මෝහයක් ම ය. එබැවින් බාහිර වස්තූන්හි මෙන් ම ලේ - මස් - අත් - පා - ඇස් - කන් ආදීන්හි ද ආලය හළ යුතුය. මාගේ බාහිර වස්තූන් මෙන්ම ලේ මස් ආදිය ද කැමති කෙනෙක් ගනිත්වා යි සිතිය යුතුය. මේ දාන පාරමිතාව පිළිබඳ වූ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය යි.

මෙසේ නැවත නැවත මෙනෙහි කරන්නා වූ සම්බෝධියට නැමුණා වූ - සම්බෝධියට බර වූ සිත් ඇත්තා වූ බෝසතුන් ගේ සිත කෙලෙසුන් කෙරෙන් දුරු වී පිරිසිදු වෙයි. ඔවුන්ට ධනය ය, ශරීරය ය, ජීවිතය ය යන මේවා කෙරෙහි අපේක්ෂාව තුනී වෙයි. ඒ හේතුවෙන් විශුද්ධ ප්‍රතිපත්තියෙහි පිහිටියා වූ බෝසතුන්ට වඩ වඩා වස්තු පරිත්‍යාගයෙන් ද, අභය දාන ධර්මදාන වශයෙන් ද, සත්ත්වයනට අනුග්‍රහ කිරීම් වශයෙන් ද දාන පාරමිතාව පිරීමෙහි සමර්ථ භාවය ඇති වේ.

දාන පාරමිතාවේ ප්‍රභේද

සාමාන්‍යයෙන් දාන පාරමිතාව එකක් වුව ද එය දාන පාරමිතාව ය, දාන උප පාරමිතාව ය, දාන පරමාර්ථ පාරමිතාව ය යි ත්‍රිවිධ වේ.

“පුත්තදාරධනාදි උපකරණ පරිච්චාගො දාන පාරමී, අත්තනො අංග පරිච්චාගො දාන උපපාරමී. අත්තනො ජීවිත පරිච්චාගො දානපරමත්ථ පාරමී".

පුත්‍රදාර ධනාදි උපකරණ පරිත්‍යාගය දාන පාරමිතාව නම් වේ. ලේ - මස් - ඇස් - කන් - අත් - පා ආදී තමාගේ ශරීරාවයව පරිත්‍යාගය දාන උප පාරමී නම් වේ. දෙවෙනි දාන පාරමිතාව යනු එහි තේරුම යි. තමා ගේ ජීවිතය පරිත්‍යාග කිරීම දාන පරමාර්ථ පාරමී නම් වේ. උසස් දාන පාරමිතාව ය යනු එහි තේරුම යි.

සාමාන්‍යයෙන් එකක් වූ දාන පාරමිතාව මෙසේ තුනට බෙදා කියනුයේ ත්‍රිවිධ බෝධීන්ගේ වශයෙනි. ලොවුතුරා බුදු බවට පෙරුම් පුරුන බෝසතුන් විසින් දාන පාරමිතාව ය, දාන උප පාරමිතාව ය, දාන පරමාර්ථ පාරමිතාව ය යන මේ තුනම පිරිය යුතු ය. ප්‍රත්‍යේක සම්බෝධියට පෙරුම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව ය, දාන උප පාරමිතාව ය යන දෙක පිරිය යුතුය. ශ්‍රාවක බෝධියට පෙරුම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව පිරිය යුතුය. දාන පාරමිතා තුන ම පිරිය හැකි තැනැත්තෝ ලොව්තුරා බුදු බවට පැමිණෙති. පළමුවන දෙවන පාරමිතා දෙක පමණක් පිරිය හැකි තැනැත්තෝ පසේ බුදු බවට පැමිණෙති. පළමුවන දාන පාරමිතාව පමණක් පිරිය හැකි තැනැත්තෝ ශ්‍රාවක බෝධියට පැමිණෙති. ශීල පාරමිතාදී ඉතිරි පාරමිතා නවයෙහි මේ ප්‍රභේදය කියන ලද පරිද්දෙන් සැලකිය යුතු ය.

මහබෝසතාණන් වහන්සේ ගේ දාන පාරමිතාව පිළිබඳව විසය්හ ජාතකය, අකිත්ති ජාතකය, සංඛ ජාතකය, නිමි ජාතකය, වෙස්සන්තර ජාතකය, කුරු රාජ චරියාව, මහාසුදස්සනරාජ චරියාව, මහා ගෝවින්ද චරියාව, චන්දරාජ චරියාව යන ආදිය කිය යුතු ය.

දාන උප පාරමිතාව පිළිබඳව සිවි ජාතකය, චුල්ලපදුම ජාතකය, ඡද්දන්ත ජාතකය, සීලවනාගරාජ ජාතකය කිව යුතුය.

දාන පරමාර්ථ පාරමිතාව පිළිබඳව සස ජාතකය, නිග්‍රෝධමිග ජාතකය, ඛදිරංගාර ජාතකය, මහාකපි ජාතකය, ජයද්දිස ජාතකය යනාදිය කිය යුතු ය.

තිලෝක විජය චක්‍රවර්ති රජතුමා ගේ මනෝමය දානය

පින් පව් වනුයේ ඒ ඒ ක්‍රියා සිදු කරන්නා වූ සිත් ය. යම් කිසි දාන වස්තුවක් ප්‍රතිග්‍රාහකයකුට දෙන්නා වූ සිත හෙවත් දීමේ දී පහළ වන්නා වූ සිත බඳු වූ සිතක්, දාන වස්තුවක් හා ප්‍රතිග්‍රාහකයකු නො මැතිව යමකුට තමාගේ සන්තානයෙහි ඇති කර ගත හැකි නම්, ඒ සිත ද සත්‍ය වශයෙන් දීම සිදු කරන්නා වූ සිත සේ ම කුශල් සිතක් වේ. යම්කිසි දාන වස්තුවක් ප්‍රතිග්‍රාහකයෙකුට දීමෙහි දී ඇතිවන කුශල සිතට සමාන සිතක් දාන වස්තුවක් හා ප්‍රතිග්‍රාහකයකු නැති ව ඉපදවීම ඉතා දුෂ්කර ය.

අතීතයේ අප මහ බෝසතාණන් වහන්සේ ත්‍රිලෝක විජය නම් වූ චක්‍රවර්ති රජ ව මනෝමය මහා දානයක් දුන් බව බුද්ධාපදාන පාළියෙහි දැක් වේ. මනෝමය දානය යනු දාන වස්තූන් හා ප්‍රතිග්‍රාහකයන් නැතිව, දාන වස්තු හා ප්‍රතිග්‍රාහකයන් සිතින් ම මවා ගෙන සිතින් ම දෙන්නා වූ දානයෙකි. ත්‍රිලෝක විජය චක්‍රවර්ති රජතුමා දුන් මනෝමය දානය කවර ආකාරයකින් වත් සත්‍ය වශයෙන් සිදු කළ නො හෙන අති විශාල දානයෙකි. ඒ මෙසේ යැ:

එතුමා විවේකස්ථානයක හිඳ දසදහසක් සක්වළ සෑම තැන ම දියෙහි ද, ගොඩ ද, අහසේ ද ඇත්තා වූ රන් - රිදී - මුතු - මැණික් ආදී රත්න සියල්ල තමාගේ භවනය සමීපයට සිතින් රැස් කළේ ය. එය සත්‍ය වශයෙන් රැස් කිරීමක් නො වේ. රැස් කරන සේ ද - රැස් වූ සේ ද සිතින් සිතා ගැනීමකි. ඉක්බිති එතුමා සිතින් ම රිදියෙන් බිමක් කොට ඒ රත්නයන්ගෙන් මහල් බොහෝ ගණනක් ඇති දහස් ගනන් කාමර ඇති, දහස් ගණන් ශාලා ඇති, දහස් ගණන් දොර ඇති, දහස් ගණන් කණු ඇති මාලාකර්ම ලතාකර්මයෙන් සුසැදි අති විශාල ප්‍රාසාදයක් සිතින් ම තැනූයේ ය. ඉර - සඳ - තරු ආදියෙන් අලංකාර කරන ලද වියනින් ද, රහුදැල් - මල් දම් - කොඩි - තොරන් - පුන් කලස් ආදියෙන් ද එය දෙව් විමනක් සේ සරසන ලද්දේය. එහි නොයෙක් පැහැති බුමුතුරුණු අතුරා සත් රුවනින් ම කල ලක්ෂ ගනන් හිඳින නිදන අසුන් පිහිට වී ය. ඒවායේ අගනා ඇතිරිලි අතුරන ලදහ. කොට්ට - මෙට්ට තබන ලදහ. පහන් පිහිටුවන ලදහ. වාසස්ථානයකට තිබිය යුතු සියල්ල ම එහි තබන ලද හ.

ඉක්බිති රජතුමා අතීත වූ ද, වර්තමාන වූ ද සියලු බුදුවරයන් වහන්සේලා ද, පසේ බුදුවරයන් වහන්සේලා ද, බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ද ඒ ප්‍රාසාදයට සිතින් වැඩම කරවන ලදහ. දෙව්ලොව හා මිනිස්ලොව කප් රුක් වලින් නා නා වස්ත්‍රයන් ගෙන ඒ සැම දෙනා වහන්සේට සිතින් ම තුන් සිවුරු පිදී ය. ප්‍රණීතවත් ආහාර පානයන් පිළියෙල කොට මාණික්‍යමය පාත්‍රවලට බෙදා ඒ බුදු පසේබුදු මහරහතන් වහන්සේලාට සිතින් ම පිරිනැමී ය. තෙල් ගිතෙල් මී සකුරු ආදී බෙහෙත් වර්ග ද ඒ ආර්‍ය්‍යයන් යන් වහන්සේලාට පිරිනැමීය.

එතුමා තමාගේ ප්‍රාසාදයෙහි ස්වර්ණමය අසුන්වල බුදු පසේබුදු - මහරහතන් වහන්සේලාගෙන් සමහර කෙනකු සැතපී සිටින සැටි ද, සමහර කෙනකු සමාපත්තිවලට සම වැදී සිටින සැටි ද, සමහර කෙනකු දහම් දෙසන සැටි ද, බුදුවරු බුදුවරුන්ගෙන් පැන විචාරන සැටි ද, බුදුවරු ඒවා විසඳන සැටි ද, ශ්‍රාවකයන් බුදුවරයන්ගෙන් පැන විචාරන සැටි ද, බුදුවරු ශ්‍රාවකයන්ගෙන් පැන විචාරන සැටි ද, ඒවා විසඳන සැටි ද, රහතන් වහන්සේලා ඔවුනොවුන් පැන විචාරන විසඳන සැටි ද සිතමින් ප්‍රීති විය.

ප්‍රාසාදය අවට උයන් පොකුණුවල මල් පිපී තිබෙන සැටි ද, තමා මල් නෙලා ප්‍රාසදයට ගෙන ගොස් පුදන සැටි ද, නා නා වර්ණ පක්ෂීන් ප්‍රාසාදය අවට මල් රුක් වල ගයමින් - නටමින් ඒ පෙදෙස අලංකාර කරන සැටි ද, ප්‍රාසාදය අවට පූජා පිණිස නොයෙක් තූර්ය්‍යයන් වාදනය කරන සැටි ද, ගී නැටුම් පවත්වන සැටි ද, දෙව් මිනිසුන් එහි රැස් වන සැටි ද, ගස් මුදුන් කඳු මුදුන් වල නන් පැහැති කොඩි ලෙළදෙන සැටි ද, සිතින් බලමින් එතුමා ප්‍රීති වි ය. එතුමා තමාගේ මනෝමය දානයෙන් ලෝකයා හට මෙසේ අනුමෝදන් කරවන ලද්දේ ය.

“යං කිඤ්චිකුසලං කම්මං කත්තබ්බං කිරියං මම

කායෙන වාචා මනසා තිදෙස සුකතං මයා

.

යෙ සත්තා සඤ්ඤිනො අත්ථි යෙ ච සත්තා අසඤ්ඤිනො

කතං පුඤ්ඤඵලං මය්හං සබ්බෙ භාගී භවන්තු තෙ.

.

යෙසං කතං සුවිදිතං දින්නං පුඤ්ඤඵලං මයා,

යෙච තස්මිං න ජානන්ති දෙවා ගන්ත්වා නිවෙදයුං

.

සබ්බලොකම්හි යෙ සත්තා ජීවන්තාහාර හෙතුකා

මනුඤ්ඤං භොජනං සබ්බං ලභන්තු මම චෙතසා”

කය වචන සිත යන තුන් දොරින් සිදු කළ යුතු වූ කුශලකර්ම සංඛ්‍යාත යම්කිසි ක්‍රියාවක් දෙව්ලොව ඉපදීමට හේතු වන පරිදි මා විසින් මනා කොට කරන ලද ද ඒ කුශලයා ගේ ඵලය,

සිත් ඇත්තා වූ ද සිත් නැත්තා වූ ද සියලු ම සත්ත්වයෝ ලබත්වා. මා විසින් මේ පින් ඵලය දුන් බව නො දන්නා වූ සත්ත්වයනට දෙවියෝ ගොස් ඒ බව දන්වත්වා. ලෝකයේ යම් සත්ත්ව කෙනෙක් ආහාරයෙන් ජීවත් වෙද්ද, ඒ සියල්ලෝ ම මාගේ කුශල චිත්ත බලයෙන් සියලු යහපත් බොජුන් ලබත්වා යනු ඒ ගථාවල අදහස යි.

මෙසේ දෙන ලද මනෝමය දානයෙන් ලැබූ බොහෝ ඵල ද අපදාන පාළියෙ දක්වා තිබේ. දික් වන බැවින් මෙහි නො දක්වනු ලැබේ. නැති දේ තමාගේ සිතට ඇති වස්තූන් සේ පෙනෙන සැටියට සිතිය හැක්කේ සමධිය පුරුදු කළ යෝගාවචරයනටය. ත්‍රිලෝක විජය චක්‍රවර්ති රජතුමාට තමාගේ සිතට පෙනෙන සැටියට ප්‍රතිග්‍රාහකයන් හා දාන වස්තූන් සිතින් නිර්මිතකර ගත හැකි වූයේ ඔහු යෝගාවචරයකු වූ බැවිනැයි සිතිය හැකි ය.

මේ කථාව මෙහි දක්වන ලද්දේ සිතින් ම ද දානමය කුශලය සිදුකර ගැනීමට ඉඩ ඇති බව දැන ගනු පිණිසය. තමා අයත් වස්තූන් කෙරෙහි ලෝභය දුරු කොට ඒවා දිමට ශක්තිය නැති තැනැත්තන් විසින් වස්තුව වියදම් නො කොට සිතින් ම දන් දෙමි යි කියා සිතූයේ ද ඒවායේ බලයක් නැත. ඒවා ඇත්තා වූ වස්තුව දීමේ දී ඇති වන සිතුම්වලට සමාන නො වන බැවිනි. මනෝමය කුශලය මතු විපාක ගෙන දීමට තරම් ශක්තියක් ඇතිවීමට නම් ඇත්තා වූ වස්තුව දීමේ දී පහළ වන කුසල චිත්තයට සමාන සිත් සිතිය යුතු ය. තමා අයත් වස්තුව දීමට ශක්තියක් නැති කමින් ඒවායේ ලෝභය දුරු කිරීමට ශක්තියක් නැති කමින් සිතින් දන් දෙන තැනැත්තකුට මනෝමය දානය දීම් වශයෙන් තමා අයත් වස්තු පරිත්‍යාග කිරීමේ දී ඇති වන සිත්වලට සමාන සිත් ඇති නො වේ.

මෙය බොහෝ දෙනාට මුළා විය හැකි කරුණෙකි. සිතින් ම දන් දුන්නාම ඇත කියා තමා අයත් වස්තුව නො දී සිතින් ම දෙන්නට සැරසීම නො මඟ යාමෙකි. තමා ගේ වස්තුවට ඇති ලෝභය දුරු කළ නො හැකියන්ට සිතින් දන්දීම පුරුදු කිරීමෙන් කියයුතු එක්තරා ප්‍රයෝජනයක් ඇත්තේ ය. එනම් දන්දීමේ ශක්තිය ලැබීමය. සිතින් දන් දී දන් දීමට සිත පුරුදු කරන කල්හි දීමට ඇති භීතිය ක්‍රමයෙන් පහවී තමා අයත් වස්තුව දීමේ ශක්තිය ක්‍රමයෙන් ලැබෙන්නේ ය. එසේ කරන තැනැත්තාගේ සිත ක්‍රමයෙන් දීමට නැවෙන්නේ ය. ඒ හේතුවෙන් කල් යාමෙන් ඒ තැනැත්තාට දන් දිය හැකි කෙනකු විය හැකි ය.

“යෙ ච බුද්ධා අතීතා ච යෙ ච බුද්ධා අනාගතා

පච්චුප්පන්නා ච යෙ බුද්ධා අහං වන්දාමි සබ්බදා”

යනුවෙන් වර්තමාන බෞද්ධයන් කරන වන්දනාව ද නැත්තා වූ බුදුවරයන් සිතින් අරමුණු කොට කරන්නක් බැවින් මනෝමය වන්දනාවෙකි. නැත්තා වූ බුදුවරයන් සිතින් සලකා ගෙන, මල් පහන් - සුවඳ - ආහාර යනාදිය ඒ බුදුවරයන්ට පිදීම ද අර්ධ වශයෙන් මනෝමය දානයකි. එය අර්ධ මනෝමය දානයක් වනුයේ දන් දීමකට තිබිය යුතු දාන වස්තුවය - ප්‍රතිග්‍රාහකයෝ ය යන අංග දෙකින් දාන වස්තුව වූ එක් අංගයක් ඇති ව ප්‍රතිග්‍රාහකාංගය නැති ව කරන පූජාවක් වන හෙයිනි.

ත්‍රිලෝක විජය රජතුමාගේ දානයට අතීත වර්තමාන බුදුවරයන් වහන්සේලා පමණක් ගන්නා ලදහ. අනාගතබුදුවරයෝ නො ගන්නා ලදහ. ඒ බව -

“යේ ච එතරහි අත්ථි බුද්ධා ලොකෙ අනුත්තරා

අතීතා වත්තමානා ච භවනං සබ්බෙ මා හරිං”

යන අපදාන ගාථාවෙන් දැක් වේ. මෙකල කරන වන්දනාවට කාලාත්‍රයෙහි ම බුදුවරයන් ගෙන තිබේ. ඒ වෙනසද සැලකිය යුතු කරුණකි.

පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේගේ ශ්‍රාවක පාරමිතා මහා දානය

ශ්‍රාවක බෝධිසත්ත්වයන් ගේ දාන පාරමිතාව ගැන දැන ගැනීම සඳහා ද, ඒ ඒ දානයන් ගේ අනුසස් වෙන වෙන ම දැන ගනු පිණිස ද, පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේගේ ශ්‍රාවක පාරමිතා මහ දානය දක්වනු ලැබේ.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් වූ බුදුන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ බුදුන් වහන්සේ ගේ පියාණන් වූ ආනන්ද රජ්ජුරුවෝ අනෙකකුට අවකාශ නො දෙමින් ශ්‍රාවක සංඝයා සහිත වූ බුදුන් වහන්සේට තමන් ම සිව්පසයෙන් උපස්ථාන කලහ. එකල්හි පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේ හසංවතී නගරයෙහි බොහෝ ධන සම්පත් ඇති කුලයක ඉපද ආනන්ද රජතුමාගේ ගේ මිත්‍රයෙක් ව ද උන්හ. දිනක් එතුමා තමාගේ ප්‍රාසාදයෙහි හිඳ සිතනුයේ මට බොහෝ ධනය ඇත්තේ ය. මගේ ගෙය ධනයෙන් පිරුණ තැනක. බුදුන් වහන්සේ ද ලොව පහළවූ සේක. මා විසින් උන් වහන්සේට දන් දිය යුතුය.

පදුම නම් වූ රාජකුමාරයා විසින් ද බුදුපාමොක් මහ සඟනට ඇතුන් හා ඇඳ පුටු ආදී බොහෝ භාණ්ඩ ද පුදන ලද්දේ ය. මට ද බොහෝ වස්තුව දිය හැකිය ය. මම මීට පෙර කිසිවකු නුදුන් පරිදි මහා දානයක් දෙමි ය. මම ඒ සර්වපරිෂ්කාර මහා දානය දීමේ ආදි කර්මිකයා (පළමුවෙන් දෙන තැනැත්තා) වෙමි යි සිතුවේ ය. එසේ සිතා එතුමා බුදුන් ප්‍රමුඛ ලක්ෂයක් භික්ෂූන් වහන්සේලාට පුදනු පිණිස කුඩ ලක්ෂයක් කම්කරුවන් ලවා කරවී ය. පාත්‍ර සිවුරු ආදී භික්ෂූන් වහන්සේලාට කැප වූ භික්ෂූන් වහන්සේලා පරිභෝග කරන්නා වූ, යම් පමණ වස්තු වේ නම් ඒ සියල්ලෙන් ම ලක්ෂය බැගින් රැස් කළේ ය.

පූජා භාණ්ඩ සියල්ල රැස් කොට එතුමා ආනන්ද රජු කරා ගොස් වැඳ කියනුයේ “අප දෙදෙන එක කල ඉපිද එකට ම වැඩුණෝ වෙමු. අපි දෙදෙන සමාන සුව දුක් ඇත්තෝ ද සමාන සිත් ඇත්තෝ ද වෙමු. අපි දෙදෙන කෙනකුට කෙනකු අනුකූලව හැසිරෙන්නෝ වෙමු. මහරජාණෙනි, මට මහත් චෛතසික දුඃඛයක් ඇත්තේ ය. හැකි නම් මාගේ දුක දුරු කරනු මැනවි. මා හට පිහිට වන මැනව” යි කී ය. එකල්හි ආනන්ද රජ්ජුරුවෝ කියන්නාහු “අප දෙදෙනා සම සිත් ඇත්තෝ ය. ඔබ ගේ දුක මාගේ ද දුකෙකි. ඉදින් ඔබ දුක මා විසින් දුරු කළ හැකි දෙයක් නම් දුරු කරන බව දැන ගනුව” යි කීහ.

එකල්හි රාජමිත්‍රයා කියනුයේ “දේවයන් වහන්ස, මගේ දුක ලෙහෙසියෙන් දුරු කළ හැකියක් නො වේ. ඔබ එය කිරීමට සමර්ථ නම් මිස නිකම් ගර්ජනා නො කරනු මැනව"යි කීය. එකල්හි රජහු “මාගේ රට වුව ද මාගේ ජිවිතය වුව ද ඔබගේ දුක දුරු කර ගැනීමට උවමනා නම් කම්පාවක් නැතිව දෙමි'යි කි හ. රාජමිත්‍රයා කියනු යේ “දේවයන් වහන්ස, ඔබ වහන්සේ බොහෝ කොට ගර්ජනා කළාහු ය, ඔබගේ ගර්ජනාව හිස් එකක් විය හැකිය. ඔබ ගේ සත්‍යයෙහි ධර්මයෙහි පිහිටීමේ ප්‍රමාණය දැන ගන්නෙමිය” යි කී හ. රජහු කියන්නාහු “ඇත්තා වූ කවරෙක් වුවත් දෙන මා ඔබ තදින් පෙළන්නෙහිය. මා පෙළීමෙන් ඔබට කවර ඵලයක් ද? ඔබට මගෙන් වුවමනා දෙයක් ඇති නම් එය වහා කියව” යි කී හ. “මහරජාණෙනි, මගේ දුක නම් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේට සත්කාරයක් කරන්නට නො ලැබීමය. ඒ වරය දීමෙන් මාගේ දුක දුරු කරනු මැනව” යි රාජමිත්‍රයා කීය.

එකල්හි රජහු “තථාගතයන් වහන්සේ කාහටවත් නො දිය යුතු වූ වස්තුවෙක. තථාගතයන් වහන්සේ නො ඉල්ලනු මැනව. අනෙක් කැමති වරයක් දෙමි” යි කීහ. “මහරජ ඔබ පළමු ජිවිතය තෙක් සියල්ල දෙමි” යි ගර්ජනා කළාහු ය. ජීවිතය පවා දෙන්නට කථා කළ ඔබ වහන්සේ විසින් “තථාගතයන් වහන්සේ දිය යුතුය"යි රාජමිත්‍රයා කීය."තථාගතයන් වහන්සේ කිසිවකුට නො දිය යුතු ය. මා විසින් තථාගතයන් වහන්සේ දෙන බවක් නො කියන ලද්දේ ය. ඔබ කැමති ධනයක් ගනුව"යි රජුහු කීහ.

එකල්හි රාජමිත්‍රයා කියනුයේ “ඔබගේ ප්‍රතිඥාවේ හැටියට තථාගතයන් වහන්සේ දිය යුතු ම ය. මේ කාරණය ගැන විනිශ්චයකාරයන් ගෙන් අසමුය"යි කියා රජුද කැඳවා ගෙන විනිශ්චය ශාලාවට ගොස් විනිශ්චයකාරයන්ට නඩු කීහ. විනිශ්චයකාරයෝ නඩුවෙන් රජ්ජුරුවන් පැරදවූහ. එකල්හි රජහු මිත්‍රයා විසින් තමාගේ දානය දුන් පසු නැවත තථාගතයන් වහන්සේ දෙන ලෙස විනිශ්චයකාරයන්ට කීහ. විනිශ්චයකාරයෝ කැමති සේ දන් දී ඔබ අදහස සම්පූර්ණ කර ගෙන නැවත බුදුන් වහන්සේ රජ්ජුරුවන්ට ම දෙන ලෙස රාජමිත්‍රයාට නියම කළෝ ය. රාජමිත්‍රයා විනිශ්චයකාරයන්ට හා රජුට ද වැඳ අවසර ගෙන පදුමුත්තර බුදුන්වහන්සේ වෙත මහත් ප්‍රීතියෙන් එළඹ, ලක්ෂයක් රහතන් වහන්සේලා ද සමඟ තමාගේ නිවසට වැඩම කරන ලෙස ආරාධනය කළේ ය. පදුමුත්තර බුදුන්වහන්සේ ද ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඔහුගේ ආරාධනය ඉවසා වදාළ සේක.

බුදුන් වහන්සේ ඉවසා වදාළ බව තේරුම් ගත් ඒ පුරුෂ තෙමේ, ප්‍රීතියෙන් සිත පින පිනා සිය නිවසට ගොස් ඥාතිමිත්‍රාදි බොහෝ ජනයා රැස් කරවා ගෙන විශාල මණ්ඩපයක් කරවා සපු - නා - වැටකේ - හෙලපියුම් - රත්පියුම් ආදී නානා පුෂ්පයෙන් එය සරසවා එහි ම ලක්ෂයක් කුඩ නංවා, ඒ කුඩ යට නා නා පුෂ්පයෙන් සැරසූ අසුන් ලක්ෂයක් පනවා පූජාව පිළියෙල කෙළේ ය. ඒ අසුන්වලින් ඉතා පහත් අසුන සියයක් අගනේ ය. එසේ පූජාව පිළියෙල කොට පුදුමුත්තර බුදුන් වහන්සේට කාලය සැල කළ කල්හි උන් වහන්සේ ලක්ෂයක් ශ්‍රාවකයන් වහන්සේ ද සමඟ එහි වැඩමවා වදාළ සේක.

දායක මහතා තථාගතයන් වහන්සේ වැඳ “ස්වාමීනි, මා විසින් පිළියෙළ කරන ලද්දා වූ නිරවද්‍ය වූ කැප වූ මේ කුඩ ලක්ෂය හා අසුන් ලක්ෂය ද මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා"යි ආයාචනය කෙළේය. බුදුන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා ද සමඟ ඒ අසුන් හි වැඩහුන් සේක. දායක මහතා සැම දෙනා වහන්සේට ලෝහ පාත්‍රය බැගින් පිළිගන්වා සර්ව පරිෂ්කාර සහිත මහා දානය දුන්නේ ය. පදුමුත්තර බුදුන් වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස සතියක් ම ඒ මල් මඩුවෙහි වැඩ හුන් සේක. එහිදී පදුමුත්තර බුදුන් වහන්සේ රැස් වූ බොහෝ ජනයාට දහම් දෙසූ සේක. එයින් සුවාසූ දහසක් සත්ත්වයනට ධර්මාභිසමය විය.

සත්වන දිනයේ දී පදුමුත්තර බුදුන් වහන්සේ වදාරන සේක් “මා ඇතුළු සඟනට සර්වපරිෂ්කාර දානය දුන් මේ පුරුෂයා සසර බොහෝ සැප සම්පත් ලබා කල්ප ලක්ෂයකින් මතු ලොව පහළ වන්නා වූ ගෞතම නම් වූ තථාගතයන් වහන්සේගේ සස්නෙහි පිලින්දවච්ඡ නමින් ශ්‍රාවකයෙක් වී දේවතාවන්ට ප්‍රියමනාප පුද්ගලයන් අතුරෙන් අග්‍රස්ථානය ලබන්නේය"යි වදාළ සේක.

පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේ පසු කාලයේ දී තමන් ගේ අතීත චරිතය ප්‍රකාශ කරන්නාහු. ඒ ඒ දානයෙන් ලැබූ ඵලානිසංසයන් වෙන වෙනම ප්‍රකාශ කළාහ. උන්වහන්සේ ලැබූ දානානිසංසයන් දැක්වෙන අපදාන ගාථා හා ඒවායේ තේරුම් ද මෙතැන් පටන් දක්වනු ලැබේ.

ඡත්‍ර දානයේ අනුසස් අට

“ඡත්තේ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සීතං උණ්හං න ජානාමි රජො ජල්ලං න ලිම්පති

අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා.

-

සුඛුමච්ඡවිකො හොමි විසදං හොති මානසං

ඡත්තසතසහස්සානි භවෙ සංසරතො මම.

-

සබ්බාලංකාර යුත්තානි තස්ස කම්මස්ස වාහසා

ඉමං ජාතිං ඨපෙත්වාන මත්ථකෙ ධාරයන්ති මෙ.”

බුදුන් වහන්සේට ද උත්තම වූ සංඝයා හට ද කුඩ පුදා මාගේ කර්මයට සුදුසු වූ ආනිසංස අටක් අනුභව කරමි. ශීතෝෂ්ණ දෙකින් පීඩා නො ලබමි. මාගේ ශරීරයේ කුණු නො ඇලෙයි. උපද්‍රව නැත්තේ වෙමි. අන්තරාය නැත්තේ වෙමි. හැම කල්හි අන්‍යයන් විසින් ගරු කරන ලද්දේ වෙමි. සියුම් සම ඇත්තේ වෙමි. මාගේ සිත පිරිසිදු වෙයි. කුඩ පූජා කිරීම වූ ඒ කර්මයේ බලයෙන් සසර සැරිසරන්නා වූ මාගේ හිස මත මේ ජාතියෙන් අන්‍ය ජාතීන්හි සර්වාලංකාරයෙන් යුක්ත වූ කුඩ ලක්ෂයක් දැරූහ.

රහත් වූ ජාතියේ උන්වහන්සේ ගේ හිස මත ඡත්‍රධාරණයක් නැති වූයේ අර්හත් ඵල සංඛ්‍යාත ඡත්‍රය දරන හෙයිනැයි කියා තිබේ.

වස්ත්‍ර දානයේ අනුසස් අට

“දුස්සානි සුගතෙ දත්වා සංඝෙ ගණ වරුත්තමෙ

අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සුවණ්ණ් වණ්ණො විරජො සප්පභාසො පතාපවා

සිනිද්ධං හොති මෙ ගත්තං භවෙ සංසරතො මම.

-

දුස්සසතසහස්සානි සෙතා පීතා ච ලොහිතා

ධාරෙන්ති මත්ථකෙ මය්හං දුස්සදානස්සිදං ඵලං”

බුදුන් වහන්සේට ද ගණෝත්තම වූ සංඝයා හට ද වස්ත්‍ර පුදා, මාගේ කර්මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි. රන්වන් සිරුර ඇත්තේ වෙමි. ශරීරයේ රජස් නැත්තේ වෙමි. රැස් විහිදෙන ශරීර ඇත්තේ වෙමි. ප්‍රතාප ඇත්තේ වෙමි. මාගේ සිරුර සිනිඳු වෙයි. භවයෙහි හැසිරෙන මාගේ හිස මත සුදු පැහැය ඇත්තා වූ ද, කහ පැහැය ඇත්තා වූ ද, රතු පැහැය ඇත්තා වූ ද ලක්ෂ ගණන් වස්ත්‍ර දරති. මෙය වස්ත්‍ර දානයේ ඵලය ය.

පාත්‍ර දානයේ අනුසස් දසය

“පත්තෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සුවණ්ණථාලෙ මණිථාලෙ රජතෙ පි ච ථාලකෙ

ලොහිතංකමයෙ ථාලෙ පරිභූඤ්ජාමි සබ්බදා.

-

අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා

ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස සයනස්ස ච.

-

න විනස්සන්ති මෙ භොගා ථිරචිත්තො භවාමහං

ධම්මාකාමො සදා හොමි අප්පක්ලේසො අනාසවො.

-

දෙවලොකෙ මනුස්සෙ වා අනුබන්ධා ඉමෙ ගුණා

ඡායා යථාපි රුක්ඛස්ස සබ්බත්ථ න ජහන්ති මං.”

බුදුන් වහන්සේට ද උත්තම වූ සංඝයා වහන්සේට ද පාත්‍ර පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් දසයක් වළඳමි. රන් තලි ද මැණික් තලි ද රිදී තලි ද රන් මැණික් තලි ද හැම කල්හි පරිභෝග කරමි. උපද්‍රව නැත්තේ ද අනතුරු නැත්තේ ද වෙමි. හැම කල්හි ගරු කරන ලද්දේ වෙමි. ආහාර පාන වස්ත්‍ර සයනාසන ලබන්නේ වෙමි. මාගේ භෝගයෝ නො නසිති. මම ස්ථිර සිත් ඇත්තේ වෙමි. හැම කල්හි ම ධර්මය කැමති වෙමි. මඳ කෙලෙස් ඇත්තේ වෙමි. ආශ්‍රව රහිත වෙමි. මේ ගුණයෝ දිව්‍යලෝකයේ ද මනුෂ්‍ය ලෝකයේ ද යන හැම තන්හි ඡායාව වෘක්ෂය නො හරන්නක් මෙන් මා නො හරිත්.

දැළිපිහියා පිදීමේ අනුසස් අට

“චිත්තබන්ධන සම්බද්ධා සුකතා වාසියො බහූ

දත්වාන බුද්ධ සෙට්ඨස්ස සංඝස්ස ච තථෙවහං

අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සූරො හොමි විසාරී ච වෙසාරජ්ජේසු පාරමී

ධිතී විරියවා හොමි පග්ගහිත මනො සදා.

-

කිලෙසච්ඡෙදනං ඤාණං සුඛුමං අතුලං සුචිං

සබ්බත්ථ පටිලභාමි තස්ස නිස්සන්දතො අහං.”

විචිත්‍ර බන්ධනයෙන් බඳනා ලද (විසිතුරු මිටි ඇති) මනා කොට කරන ලද්දා වූ බොහෝ කරකැති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට හා මහා සංඝයා වහන්සේට ද පුදා මාගේ කර්මයට අනුරූප වූ ආනිසංස අටක් වළඳමි. මම හැම කල්හි සූර ද වෙමි. නො විසිරි සිත් ඇත්තේ ද වෙමි. වෛශාරද්‍යයෙහි පරතෙරට පැමිණියෙමි. ධෛර්‍ය්‍ය ඇත්තේ වෙමි. වීර්‍ය්‍ය ඇත්තේ වෙමි. ඔසවා ගන්නා ලද සිත් ඇත්තේ වෙමි. කෙලෙස් සිඳින්නා වූ සියුම් වූ අසම වූ ශුද්ධ වූ ඥානය හැම කල්හි ඒ කර්ම බලයෙන් ලබමි. (මෙහි පෙනෙන්නේ කරුණු සතෙකි. එබැවින් අට්ඨානිසංසෙ අනුභොමි යන්න සත්තානිසංසෙ අනුභොමි යි කියා විය යුතු ය යි සිතමි.)

පිහියා පිදීමේ අනුසස් පස

“අකක්කසෙ අඵරුසෙ සුධොතෙ සත්ථකෙ බහූ

පසන්නචිත්තො දත්වාන බුද්ධෙ සංඝෙ තථෙව ච,

-

පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

කල්‍යාණචිත්තං විරියං ඛන්තිං ච මෙත්තසත්ථකං

-

තණ්හා සල්ලස්ස ඡින්නත්තා පඤ්ඤාසත්ථං අනුත්තරං

වජිරෙන සමං ඤාණං තෙසං නිස්සන්දතො ලභෙ”

අකර්කශ වූ අඵරුශ වූ මොනවට පණ පොවන ලද්දා වූ බොහෝ පිහියා බුදුනට ද සංඝයාට ද පහන් සිතින් දී මාගේ කර්මයට අනුරූප වූ අනුසස් පසක් ලබමි. යහපත් සිත් ද, වීර්‍ය්‍යය ද, ක්ෂාන්තිය ද, මෛත්‍රිය නැමැති සැත ද, තෘෂ්ණා සංඛ්‍යාත සුල ද සුන් කළ බැවින් අනුත්තර වූ ප්‍රඥා ශස්ත්‍රය වූ වජ්‍රායුධය හා සමාන වූ ඥානය ඒවායේ අනුසස් වශයෙන් ලබමි.

ඉඳි කටු දීමේ අනුසස් සත

“සූචියො සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

න සංසයො කංඛච්ඡෙදො අභිරූපො ච භොගවා

තික්ඛපඤ්ඤො සදා හොමි සංසරන්තො භවාභවෙ

-

ගම්හීරං නිපුණං ඨානං අත්ථං ඤාණෙන පස්සයිං

වජිරග්ග සමං ඤණං හොති මෙ තමඝාතනං”

බුදුන්වහන්සේට හා උත්තම සංඝයා වහන්සේට ඉදිකටු පුදා මාගේ කර්මයට අනුරූප ආනිසංස පසක් ලබමි. සැක නැත්තේ වෙමි. සැක සිඳින්නේ වෙමි. රූ ඇත්තේ වෙමි. භෝග ඇත්තේ වෙමි.

භවයෙහි හැසිරෙන්නා වූ මම හැම කල්හි ම තියුණු නුවණ ඇත්තේ වෙමි. ගම්භීර වූ ද සියුම් වූ ද ස්ථාන වූ ද අර්ථයන් ඥානයෙන් දිටිමි. මොහඳුර දුරු කරන්නා වූ වඡ්‍රායුධාග්‍රහයට සම වූ ඥානය මා හට ඇත්තේ ය.

නිය කපන අවි පිදීමේ අනුසස් පස

“නඛච්ඡෙදනෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

පඤ්චානිසංසේ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම,

-

දාසි දාසෙ ගවස්සෙ ච භතකෙ ආරක්ඛකෙ බහූ

නහාපිතෙ භත්තකෙ සූදෙ සබ්බත්ථෙව ලභාමහං”

බුදුනට ද මහා සංඝයා හට ද නිය කපන ආයුධ පුදා මාගේ කර්මයට අනුකූල වූ අනුසස් පසක් ලබමි. බොහෝ වූ දාසි දාසයන් ද, ගවයන් හා අශ්වයෝ ද, ආරක්ෂක මෙහෙකරුවන් ද, කරනැවෑමියන් ද (කෙස් රැවුල් කපන්නන්) බත් පිසින්නන් ද හැම තන්හි ම ලබමි.

පවන් අතු පිදීමේ අනුසස් අට

“විධූපනෙ සුගතෙ දත්වා තාලවණ්ටෙ ච සොභනෙ,

අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

සීතං උණ්හං න ජානාමි පරිළාහො න විජ්ජති,

දරථං නාභිජානාමි චිත්තසන්තාපනං මම.

-

රාගග්ගි දොසමොහග්ගි මානග්ගි දිට්ඨි අග්ගිච,

සබ්බග්ගි නිබ්බුතා මය්හං තස්ස නිස්සන්දතො මම

-

මොරහත්ථෙ චාමරියො දත්වා සංඝෙ ගණුත්තමෙ උපසන්තකිලෙසොහං විරහාමි අනංගණො”

තථාගතයන් වහන්සේට ශෝභන වූ පවන් අතු ද තල්වැට ද පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් අටක් ලබමි. ශීතයෙන් හා උෂ්ණයෙන් පීඩා නො ලබමි. ශරීර දාහයක් ද නැත. මාගේ සිත තවන්නා වූ දාහයක් ද නැත. රාගග්නිය ය, ද්වේෂාග්නිය ය, මෝහාග්නිය ය, මානාග්නිය ය, දෘෂ්ට්‍යාග්නිය ය යන සකලාග්නීහු මගේ ඒ කුශලයාගේ නිස්සන්දයෙන් මාහට නිවුණාහු ය. මොනර පිල් හා චාමර ද සංඝයා හට දී, සන්සුන් කෙලෙස් ඇත්තේ කෙලෙස් වලින් මිදී වාසය කරමි.

පෙරහන්කඩ දීමේ අනුසස් පහ

“පරිස්සාවනෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

පඤ්චනිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සබ්බෙසං සමතික්කම්ම දිබ්බං ආයුං ලභාමහං,

අප්පසය්හො සදා හොමි චොරපච්චත්ථිකෙහි වා

-

සත්ථෙන වා විසෙන වා විහෙසම්පි න කුබ්බතෙ

අන්තරා මරණං නත්ථි තෙසං නිස්සන්දතො මම.”

බුදුන් වහන්සේට ද ගණෝත්තම වූ මහා සංඝයා වහන්සේට ද, පෙරහන්කඩ දී මාගේ කර්මයනට අනුරූප වූ අනුසස් පසක් ලබමි. මම හැම දෙනාම ඉක්මවා දිව්‍යායුෂය ලබමි. සොරුන් විසින් ද සතුරන් විසින් ද සැම කල්හි හිංසා නො කළ හැක්කේ වෙමි. ආයුධයෙන් ද විෂයෙන් ද මාහට හිංසාවක් නොවේ. පෙරහන්කඩ පිදීමේ නිස්සන්දනයෙන් මා හට අතුරු මරණයක් නැත.

තෙල් තබා ගන්නා බඳුන් පිදීමේ අනුසස් පස

“තෙලධරෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

සුචාරුරූපො සුගදො සුසමුග්ගත මානසො

අවික්ඛිත්ත මනො හොමි සබ්බාරක්ඛෙහි රක්ඛිතො”

බුදුන් වහන්සේට ද සඟනට ද තේලධරයන් (තෙල් බඳුන්) දී මාගේ කර්මයනට අනුරූප වූ අනුසස් පසක් ලබමි. මනා රූ ඇත්තේ ද, මනා වචන ඇත්තේ ද, උසස් සිත් ඇත්තේ ද, අවික්ෂිප්ත සිත් ඇත්තේ ද, සකලාරක්ෂාවෙන් ආරක්ෂිත වූයේ ද වෙමි.

ඉදිකටු ගුලා පිදීමේ අනුසස් තුන

“සුචිඝරෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ.

තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

චෙතොසුඛං කායසුඛං ඉරියාපථජං සුඛං,

ඉමෙ ගුණෙ පටිලභාමි තස්ස නිස්සන්දතො අහං”

බුදුනට ද සංඝයා හට ද ඉදිකටු කොපු පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් තුනක් ලබමි. චිත්ත සුඛය ද, කාය සුඛය ද, ඉරියව් පැවැත්මේ සුඛය ද යන මේ ආනිසංසයන් එයින් ලබමි.

අංසකඩ පිදීමේ අනුසස් තුන

“අංසබද්ධෙ ජිනෙ දත්වා සංඝෙ ගුණවරුත්තමෙ,

තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

චෙතො ඤාණඤ්ච වින්දාමි සරාමි දුතියං භවං.

සබ්බත්ථ සුච්ඡවි හොමි තස්ස නිස්සන්දතො මම.”

බුදුන් වහන්සේට හා සඟනට අංසකඩ පුදා මාගේ කර්මයට අනුරූප පරිදි අනුසස් තුනක් ලබමි. පරසිත් දන්නා නුවණ ලබමි. දෙවන ජාතිය ද සිහි කරමි. මාගේ ඒ කුසලයෙන් හැම කල්හි ම මනා සිවි ඇත්තේ වෙමි.

පටි පිදීමේ අනුසස් සය

“කායබන්ධෙ ජිනෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම,

-

සමාධීසු න කම්පාමි වසී හොමි සමාධිසු,

අභෙජ්ජපරිසො හොමි ආදෙ‍ය්‍ය වචනො සදා

-

උපට්ඨිත සතී හොමි තාසො මය්හං න විජ්ජති

දෙවලොකෙ මනුස්සෙ වා අනුබන්ධා ඉමෙ ගුණෙ”

බුදුනට ද සංඝයාට ද පටි පුදා අනුසස් සයක් ලබමි. සමාධීන්හි කම්පා නොවෙමි. සමාධියෙහි වශීභාවය (හුරුපුරුදු බව) ඇත්තේ වෙමි. නො බිඳෙන පිරිස් ඇත්තේ වෙමි. හැමකල්හි අනුන් පිළිගන්නා වචන ඇත්තේ වෙමි. එළඹ සිටි සිහි ඇත්තේ වෙමි. බියක් මට නැත. දෙව්ලොව දී ද මිනිස් ලොව දී ද මේ ගුණයෝ මා හා පවත්නාහ.

ආධාරකයන් පිදීමේ අනුසස්

“ආධාරකෙ ජිනෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

පඤ්චවණ්ණෙහි දායාදො අචලො හොමි කෙනෙචි.

-

යෙ කෙචි මෙ සුතා ධම්මා සතිඤාණප්පබොධනා

ධතා මෙ න විනස්සන්ති භවන්ති සුවිනිච්ඡිතා”

ආධාරක යනු පාත්‍රාදිය තබන අඩිය ය. “පඤ්ච වණ්ණෙහි දායාදෝ” මෙහි අර්ථය අනිශ්චිතය. අචලො හොමි කෙනචි, කිසිවකින් නො සැලෙමි.

සිහි නුවණ පුබුදුවන්න වූ යම් ධර්ම කෙනෙක් මා විසින් අසන ලද ද, දරන ලද ද, ඒ ධර්මයෝ මා කෙරෙහි නො නස්නාහ. මා විසින් ඒ ධර්මයෝ සුවිනිශ්චිත ය.

භාජන පිදීමේ අනුසස් තුන

“භාජනෙ පරිභොගෙ ච දත්වා බුද්ධෙ ගණුත්තමෙ

තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සොණ්ණමයෙ මණිමයෙ අථො පි ඵලිකාමයෙ

ලොහිතංකමයෙ චෙව ලභාමි භාජනෙ අහං

-

භරියාදාසදාසී ච හත්ථස්සරථ පත්තිකා

ඉත්ථි පතිබ්බතා චෙව පරිභොගානි සබ්බදා

-

විජ්ජා මන්තපදෙ චෙව විවිධෙ ආගමෙ බහු

සබ්බං සිප්පං නිසාමෙමි පරිභොගානි සබ්බදා”

බුදුනට ද සඟනට ද පරිභෝග භාජන පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් තුනක් ලබමි. රනින් කරන ලද්දා වූ ද, මිණියෙන් කරන ලද්දා වූ ද, පළිඟුවෙන් කරන ලද්දා වූ ද, පියුම්රාමිණියෙන් කරන ලද්දා වූ ද භාජන මම ලබමි. භාර්‍ය්‍යාවෝ ද දාසදාසීහු ද, ඇත්, අස්, රිය, පාබල, සේනා ද පතිවත් ඇත්තා වූ ස්ත්‍රීහු ද හැම කල්හි මාගේ පාරිභෝගයෝ වෙති. විද්‍යා ද, මන්ත්‍රයන් ද නා නා ආගමයන් ද, සියලු ශිල්ප ද උගනිමි. ඒවා හැම කල්හි මාගේ පාරිභෝගයෝ වෙති.

තලි පිදීමේ අනුසස් තුන

“ථාලකෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සොණ්ණමයෙ මණිමයෙ අථොපි ඵලිකාමයෙ,

ලොහිතංකමයෙ චෙව ලභාමි ථාලකෙ අහං

-

අස්සත්ථකෙ ඵලමයෙ අථො පොක්බර පත්තකෙ

මධුපානක සංඛෙ ච ලභාමි ථාලකෙ අහං

-

වත්තෙ ගුණෙ පටිපත්ති ආචාර කිරියාසු ච,

ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං

ථාලක යනු තැටිවලට හා පිඟන් ආදී නො ගැඹුරු බඳුන්වලට නමෙකි. බුදුනට ද සඟනට ද තලි දී මාගේ කර්මයට අනුරූප වූ අනුසස් තුනක් ලබමි. රන්මුවා මිණිමුවා පළිගුමුවා පියුම්රාමිණිමුවා තලි මම ලබමි. බෝ පත් සටහන් ඇති තලි ද, ඵලයෙන් කළ තලි ද, පියුම් පත් බඳු තලි ද, මධුපානය කරන සක් ද තවත් නොයෙක් තලි ද මම ලබමි. වතෙහි ද ගුණයෙහි ද ප්‍රතිපත්තියෙහි ද ආචාර ක්‍රියාවන්හි ද මැනවින් පවතිමි. එහි ඵල වශයෙන් මේ ගුණ ලබමි. (මේ ගාථාවල අදහස විමසා ගත යුතු.)

බෙහෙත් පිදීමේ අනුසස් දසය

“හෙසජ්ජං සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

ආයුවා බලවා වීරො වණ්ණවා යසවා සුඛී

අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා

න මෙ පියවියොගත්ථි තස්ස නිස්සන්දතො මම”

බුදුනට ද සඟනට ද බෙහෙත් පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් දසයක් ලබමි. ආයු ඇත්තේ ද, බල ඇත්තේ ද, වීර්‍ය්‍ය ඇත්තේ ද, වර්ණය ඇත්තේ ද, යශස් ඇත්තේ ද, සැප ඇත්තේද, උපද්‍රව නැත්තේ ද, අන්තරාය නැත්තේ ද, හැම කල්හි ගරු කරන ලද්දේ ද වෙමි. ප්‍රිය විප්පයෝගයක් ද මට නැත.

පාවහන් පිදීමේ අනුසස් තුන

“උපාහනෙ ජිනෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

හත්ථියානං අස්සයානං සිවිකා සන්දමානිකා

සට්ඨිසතසහස්සානි පරිවාරෙන්ති මං සදා

-

මණිමයා කම්බ්ලිකා සොණ්ණරජත පාදුකා

නිබ්බත්තන්ති පදුද්ධාරෙ භවෙ සංසරතො මම

-

නියාමං පටිධාවන්ති ආචාරගුණ සොධනං

ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං

-

පාදුකෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

ඉද්ධිපාදුක මාරුය්හ විහරාමි යදිච්ඡකං”

බුදුනට ද සඟනට ද පාවහන් පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් තුනක් ලබමි. හස්තියාන ද අශ්ව යාන ද සිවිකා ද රථ ද හැම කල්හි සැටලක්ෂයක් මා පිරිවරත්. මැණිකෙන් කළා වූ ද, කම්බිලියෙන් කළා වූ ද, රනින් රිදියෙන් කළා වූ ද පාදුකාවෝ මාගේ පා ඔසවන කල්හි පහළ වෙති. (සතරවන ගාථාව නිශ්චිතාර්තයක් නො දිය හැකි සේ අවුල් ය.) බුදුනට හා සඟනට පාදුකාවන් දී සෘද්ධිපාදුකාවට නැඟී රිසි සේ වාසය කරමි.

දිය පිස්නා වස්ත්‍ර දීමේ අනුසස් සය

“උදපුඤ්ඡනකෙ චොලෙ දත්වා බුද්ධෙ ගණුත්තමෙ

පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සුවණ්ණවණ්ණො විරජො සප්පභාසො පතාප වා

සිනිද්ධං හොති මෙ ගත්තං රජො ජල්ලං න ලිම්පති

ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං”

බුදුනට ද සඟනට ද දිය පිස්නා වස්ත්‍ර දී මාගේ කර්මයට අනුරූප වූ අනුසස් පසක් ලබමි. රන්වන් පැහැ ඇත්තේ වෙමි. රජස් නැත්තේ වෙමි. ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තේ වෙමි. ප්‍රතාප ඇත්තේ වෙමි. මාගේ සිරුර සිනිඳු වෙයි. සිරුරෙහි කුණු නො ඇලෙයි. ඒ කර්මයෙන් මම මේ ගුණයන් ලබමි.

සැරයටි පිදීමේ අනුසස් සය

“කත්තරදණ්ඩෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

පුත්තා මය්හං බහූ හොන්ති තාසො ම‍ය්හං න විජ්ජති

අප්පසය්හෝ සදා හොමි සබ්බාරක්ඛෙහි රක්ඛිතො

ඛලිතං මං න ජානාමි අභන්තං මානසං මම”

බුදුනට ද සඟනට ද සැරයටි පුදා මාගේ කර්මයට අනුරූප වූ පරිදි අනුසස් සයක් ලබමි. මා හට පුත්‍රයෝ බොහෝ වෙති. තැති ගැනීමක් මට නැත. හැම කල්හි අනුන් විසින් පිඩා නො කළ හැක්කේ වෙමි. සකලාරක්ෂාවෙන් ආරක්ෂා කරන ලද්දේ වෙමි. මාගේ වැරදීමක් නො දකිමි. මාගේ සිත නො පෙළන ලද්දේ ය.

බෙහෙත් අඳුන් පිදීමේ අනුසස් අට

“ඔසධං අඤ්ජනං දත්වා බුද්ධෙ සංඝෙ ගණුත්තමෙ,

අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

විසාල නයනො හොමි සෙත පීත සලොහිතො

අනාවිල පසන්නක්ඛො සබ්බරොග විවජ්ජිතො.

-

ලභාමි දිබ්බනයනං පඤ්ඤාචක්ඛුං අනුත්තරං

ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං”

බුදුනට ද සඟනට ද බෙහෙත් අඳුන් (ඇස් බෙහෙත්) පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් අටක් ලබමි. මහත් නෙත් ඇත්තේ වෙමි. ඇසෙහි සුදු කහ රතු පැහැයන් මනා කොට ඇත්තේ වෙමි. නො කැඩුනා වූ පහන් වූ ඇස් ඇත්තේ වෙමි. සියලු රෝගයෙන් මිදුණෙමි. දිවැස ලබමි. අනුත්තර ප්‍රඥාචක්ෂුස ලබමි. මම එහි අනුසස් වශයෙන් මේ ගුණයන් ලබමි.

යතුරු හා යතුරු කොපු පිදීමේ අනුසස්

“කුඤ්චිකෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

ධම්මද්වාර විවරණං ලභාමි ඤාණ කුඤ්චිකං

-

කුඤ්චිකානං ඝරෙ දත්වා බුද්ධෙ සංඝෙ ගණුත්තමෙ,

ද්වානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

අප්පකොධො අනායාසො සංසරන්තො භවෙ අහං”

බුදුනට ද සඟනට ද යතුරු පුදා ධර්මද්වාරය විවෘත කරන ඥානය නැමති යතුර ලබමි. යතුරු තබා ගන්නා කොපු දී අනුසස් දෙකක් ලබමි. ක්‍රෝධය මඳවූයේ වෙමි. වෙහෙස නැත්තේ වෙමි.

ආයෝග දානයේ අනුසස් පස

“ආයෝගෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම,

-

සමාධීසු න කම්පාමී වසී හොමි සමාධිසු

අභෙජ්ජපරිසො හොමි ආදෙය්‍ය වචනො සදා

ජායතී භොගසම්පත්ති භවෙ සංසරතො මම.”

ආයෝග යනු පටි විශේෂයකි. බුදුනට ද සඟනට ද ආයෝගයන් පුදා කර්මයට අනුරූප වූ අනුසස් පසක් ලබමි. සමාධියෙහි නො ඇලෙමි. සමාධියෙහි වශී භාවය ඇත්තෙමි. නො බිඳෙන පිරිස් ඇත්තේ වෙමි. හැම කල්හි විශ්වාස කරන කථා ඇත්තේ වෙමි. භවයෙහි හැසිරෙන්නා වූ මා හට භෝග සම්පත්තිය ඇති වේ.

දුම් බොන පයිප්ප පිදීමේ අනුසස් තුන

“ධූමනෙත්තේ ජිනේ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

සති මෙ උජුකා හොති සුසම්බන්ධා නහාරවෙ,

ලභාමි දිබ්බනයනං තස්ස නිස්සන්දතො අහං”

බුදුනට ද සඟනට ද දුම් බොන පයිප්ප පුදා ඒ කර්මය ට අනුරූප වූ අනුසස් තුනක් ලබමි. මාගේ සිහිය සෘජු වෙයි. නහර මනා කොට සම්බන්ධ ඇත්තාහු වෙති. ඒ කර්මයෙන් දිව්‍ය නේත්‍ර ලබමි.

පහන් පිදීමේ අනුසස් තුන

“දීපට්ඨානෙ ජිනෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

ජාතිමා අංගසම්පන්නො පඤ්ඤවා බුද්ධිසම්මතො

ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං”

බුදුනට ද සඟනට ද පහන් දල්වන භාණ්ඩ පුදා කර්මයට අනුරූප අනුසස් තුනක් ලබමි. උසස් කුල ඇත්තේ වෙමි. අංග සම්පූර්ණ වූයේ වෙමි. නුවණැත්තේ ය යි සම්මත කරන ලද්දේ වෙමි. එහි අනුසස් වශයෙන් මේ ගුණයන් ලබමි.

මහ සැළි හා කරඬු පිදීමේ අනුසස් දසය

“තුම්බකෙ ච කරණ්ඩෙ ච දත්වා බුද්ධෙ ගණුත්තමෙ

දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

සදා ගුත්තො සුඛසමංගී මහා යසවා තථා ගතී.

විපත්ති විගතො සුඛුමාලෝ සබ්බීති පරිවජ්ජිතො

-

විපුලෙ ච ගුණෙ ලාභී සමාව චරණා මම

සුවිවජ්ජිත උබ්බෙගො තුම්බකෙ ච කරණ්ඩකෙ

-

ලභාමි චතුරො වණ්ණෙ හත්ථස්ස රතනානි ච,

තානි මෙ න විනස්සන්ති තුම්බදානෙ ඉදං ඵලං”

(මේ ගාථා වල අර්ථ විමසිය යුතුය)

බුදුනට ද මහ සඟනට ද මහා සැළි හා කරඬු ද පුදා කර්මයට අනුරූප වූ අනුසස් දසයක් ලබමි. හැම කල්හි ආරක්ෂා ඇත්තේ වෙමි. සැපයෙන් යුක්තවෙමි. මහත් යසස් ඇත්තේ වෙමි. විපත් නැත්තේ වෙමි. සියුමැලි වෙමි. සියලු අන්තරායයන්ගෙන් මිදුණේ වෙමි. මහත් ගුණ ඇත්තේ වෙමි. බිය නැත්තේ වෙමි. වර්ණ සතර ඇති මහා සැළි හා කරඬු ලබමි. හස්ත්‍යශ්ව රථයන් ලබමි. මාගේ ඒ වස්තූහු නො නැසෙයි. මෙය මහසැළි දීමේ ඵලය ය.

අඳුන් නළ දීමේ අනුසස්

“අඤ්ජන නාළියෝ දත්වා බුද්ධෙ සංඝෙ ගණුත්තමෙ,

පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සබ්බලක්ඛණ සම්පන්නො ආයු පඤ්ඤා සමාහිතො

සබ්බායාස විනිම්මුත්තො කායො මේ හොති සබ්බදා”

බුදුනට ද සඟනට ද අඳුන් නළ දී අනුසස් පසක් ලබමි. මාගේ ශරීරය සෑම කල්හි සර්වලක්ෂණයෙන් යුක්ත වෙයි. ආයුෂයෙන් හා ප්‍රඥාවෙන් යුක්ත වෙයි. සකලායාසයෙන් මිදුණේ වෙයි.

කුඩා පිහියා හා ලොම් උදුරන අඬු දීමේ අනුසස්

“තනුධාරෙ සුනිසිතෙ සංඝෙ දත්වාන පිප්ඵලෙ

කිලෙස කන්තනං ඤාණං ලභාමි අතුලං සුචිං

-

සණ්ඩාසෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

කිලෙස ලුඤ්චනං ඤාණං ලභාමි අතුලං සුචිං”

තුනී ධාරා ඇති තියුණු කරන ලද්දා වූ පිහියා සඟනට දී අතුල්‍ය වූ පරිශුද්ධ වූ කෙලෙස් සිඳිනා නුවණ ලබමි. බුදුනට ද මහා සඟනට ද ලොම් උදුරන අඬු පුදා අතුල්‍ය වූ පරිශුද්ධ වූ කෙලෙස් උදුරන නුවණ ලබමි.

නස්‍ය කිරීමේ උපකරණ පිදීමේ අනුසස් අට

“නත්ථුකෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

සද්ධං සිලං හිරිං චා පි අථො ඔත්තප්පියං ගුණං

සුතං චාගඤ්ච ඛන්තී ච පඤ්ඤං මෙ අට්ඨමං ගුණං”

බුදුනට ද සඟනට ද නස්‍ය කරන උපකරණ පුදා අනුසස් අටක් ලබමි. ශ්‍රද්ධාව ය, ශීලය ය, හිරිය ය, ඔත්තප්ප ය, ශ්‍රැතය ය, ත්‍යාගය ය, ක්ෂාන්තිය ය, ප්‍රඥාව ය යන මොහු ඒ ගුණයෝ ය.

පුටු පිදීමේ අනුසස් සය

“පීඨකෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

පඤ්චා නිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

උච්චෙ කුලෙ පජායාමි මහාභොගො භවාමහං,

සබ්බේ මං අපචායන්ති කිත්ති අබ්භුග්ගතා මම

-

කප්පසත සහස්සානි පල්ලංකා චතුරස්සකා

පරිවාරෙන්ති මං නිච්චං සංවිභාගරතො අහං.”

බුදුනට ද සඟනට ද පුටු පුදා කර්මයට අනුරූප වූ අනුසස් පසක් ලබමි. මම උසස් කුලයෙහි උපදිමි. මහා භෝග ඇත්තේ වෙමි. සියල්ලෝ ම මට ගරු කෙරෙති. මාගේ කීර්තිය පැන නැංගේ ය. කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි පුටු මා පිරිවරයි. මම දීමේ ඇලුණෙමි.

මෙට්ට පිදීමේ අනුසස් සය

“භිසියො සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

සමගත්තො අපචිතො මුදුකො චාරු දස්සනො

ලභාමි ඤාණපරිවාරං භිසිදානස්සිදං ඵලං

-

තුලිකා විකතිකායො කට්ඨිස්සා චිත්තකා බහු

වරපොත්ථකෙ කම්බලෙ ච ලභාමි විවිධෙ අහං

-

පවාරිකෙ ච මුදුකෙ මුදුකා ජිනවෙණියො

ලභාමි විවිධත්ථාරෙ භිසිදානස්සිදං ඵලං

-

යතො සරාමි අත්තානං යතො පත්තොස්මි විඤ්ඤුතං

අතුච්ඡො ඣාන මඤ්චොම්හි භිසිදානස්සිදං ඵලං”

බුදුනට හා මහසඟනට ද මෙට්ට පුදා කර්මයට අනුරූප වූ අනුසස් සයක් ලබමි. සම වූ ශරීර ඇත්තේ වෙමි. ගරු කරන ලද්දේ වෙමි. මෘදු ශරීර ඇත්තේ වෙමි. මනා දැකුම් ඇති ශරීර ඇත්තේ වෙමි. ඥානය හා පිරිවර ලබමි. මෙය භිසි දානයාගේ ඵලය වන්නේ ය. පුළුන් ගුදිරි ද, සිංහව්‍යාඝ්‍රාදි රූපයෙන් විසිතුරු කළ ඇතිරි ද, රන් රිදී කෙඳි මිශ්‍ර කොට වියන ලද ඇතිරි ද, විසිතුරු කොට වියන ලද ඇතිරි ද, නියඳින් කළ ඇතිරි ද, කම්බිලි ද යන නානාවිධ බොහෝ ඇතිරි ලබමි. මෘදු වූ උතුරු සළු ද අඳුන් දිවි සමින් ඇඳ පමණට කළ ඇතිරි ද යන නානා ප්‍රකාර ඇතිරි ලබමි. මෙය භිසිදානයාගේ ඵලය ය. යම් කලෙක පටන් මා සිහි කෙරෙම් ද, යම් කලෙක පටන් නුවණැති බවට පැමිණියෙම් ද, එතැන් පටන් ධ්‍යානයෙන් හිස් නො වූයෙමි. ධ්‍යාන නමැති ඇඳ ඇත්තේ වෙමි. මෙය භිසිදානයා ගේ ඵලය ය.

කොට්ට පිදීමේ අනුසස් සය

“බිම්බොහනෙ ජිනෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

ඡානානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

උණ්ණිකෙ පදුමකෙ ච අථො ලොහිත චන්දනෙ,

බිම්බොහනෙ උපාධෙමි උත්තමංගං සදා මම.

-

අට්ඨංගිකෙ මග්ගවරෙ සාමඤ්ඤෙ චතුරො ඵලෙ

තෙසු ඤාණං උපනෙත්වා විහාරෙ සබ්බකාලිකං

-

දානෙ දමෙ සඤ්ඤමෙ ච අප්පමඤ්ඤාසු රූපිසු

තෙසු ඤාණං උපනෙත්වා විහාරෙ සබ්බකාලිකං

-

වත්තෙ ගුණෙ පටිපත්ති ආචාරකිරියාසු ච

තෙසු ඤාණං උපනෙත්වා විහාරෙ සබ්බදා අහං

-

චංකමෙ වා පධානෙ වා විරියෙ බොධිපක්ඛියෙ

තෙසු ඤාණං උපනෙත්වා විහාරාමි යදිච්ඡකං

-

සිලං සමාධිපඤ්ඤා ච විමුත්තී ච අනුත්තරා

තෙසු ඤාණං උපනෙත්වා විහාරාමි සුඛං අහං”

බුදුනට ද සඟනට ද කොට්ට පුදා කර්මයට අනුරූප වූ අනුසස් සයක් ලබමි. ලොමින් කරන ලද්දා වූ ද පද්මාකාර වූ ද, ලෝහිත චන්දනයෙන් කරන ලද්දා වූ ද කොට්ට වල සැම කල්හි මාගේ හිස තබමි. උත්තම වූ අෂ්ටාංගික මාර්ගයෙහි ද සතරක් වූ ශ්‍රාමණ්‍ය ඵලයෙහි ද යන මේ ධර්මයන්හි ඥානය එළවා සැම කල්හි වෙසෙමි. දීමෙහි ද, ඉන්ද්‍රිය දමනයෙහි ද, සිත සමාධි කිරීමෙහි ද, අප්‍රමාණ්‍යන්හි ද, රූපධ්‍යානයන්හි ද, සැම කල්හි ඥානය එළවා වෙසමි. වතෙහි ද, ගුණයෙහි ද, ප්‍රතිපත්තියෙහි ද, ආචාර ක්‍රියාවන්හි ද, සැම කල්හි ඥානය යොදවා වෙසමි. සක්මනෙහි ද, සම්‍යක් ප්‍රධානයෙහි ද වීර්‍ය්‍යයෙහි ද, බෝධිපාක්ෂික ධර්මයෙහි ද රිසිසේ ඥානය එළවා වෙසෙමි. ශීලයය, සමාධිය ය, ප්‍රඥාව ය, අනුත්තර විමුක්තියය යන මේ ධර්මයන්හි සුවසේ ඥානය එළවා මම වෙසෙමි.

පිදුරු බිසි පිදීමේ අනුසස් දෙක

“පළාලපීඨෙ ජිනෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

ද්වානිසංසෙ අනුභොමි කම්මනුච්ඡවිකෙ මම

-

සොවණ්ණමයෙ මණිමයෙ දන්තසාරමයෙ බහු

පල්ලංකසෙට්ඨෙ වින්දාමි පලාලපීඨස්සිදං ඵලං”

බුදුනට ද සඟනට ද පිදුරු බිසි පුදා කර්මයට අනුරූප වූ අනුසස් දෙකක් ලබමි. රනින් කළා වූ ද, මිණියෙන් කළා වූ ද, දළයෙන් හා හරයෙන් කළා වූ ද, බොහෝ වූ උසස් පර්‍ය්‍යංකයන් ලබමි. මෙය පලාල පීඨ දානයාගේ ඵලය ය.

පා පුටු දීමේ අනුසස් දෙක

“පාදපීඨෙ ජිනෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

ද්වානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

ලභාමි බහුකේ යානෙ පාදපීඨස්සිදං ඵලං

දාසිදාසා ච භරියා යෙචඤ්ඤෙ අනුජීවිනො

සම්මා පරිවරන්තෙ මං පාදපීඨස්සිදං ඵලං”

බුදුනට ද සඟනට ද පා පුටු පුදා කර්මයට අනුරුප වූ අනුසස් දෙකක් ලබමි. බොහෝ යානයන් ලබමි. එය පා පුටු පිදීමේ ඵලය ය. දාසදාසියෝ ද, භාර්‍ය්‍යාවෝ ද, මා නිසා ජීවත් වන අන්‍යයෝ ද මා හට මැනවින් උවටැන් කෙරෙති. එය පා පුටු දීමේ ඵලය ය.

ඇඟ ගල්වන තෙල් පිදීමේ අනුසස් පස

“තෙල අබ්භඤ්ජනෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

අව්‍යාදිතා රූපවතා ඛිප්පං ධම්මනිසන්තිතා.

ලාභිතා අන්නපානස්ස ආයුපඤ්චමකං මම.”

සංඝයාට ඇඟ ගල්වන තෙල් දී කර්මයට අනුරූප වූ අනුසස් පසක් ලබමි. නිරෝග බව ය, රූපත් බවය, වහා ධර්මයන් දැන ගැනීමට සමත් බව ය, ආහාර පාන ලබන බව ය, ආයුෂ ලබන බව ය යන මොහු එහි ආනිසංසයෝ ය.

තෙල් ගිතෙල් පිදීමේ අනුසස් පස

“සප්පිතෙලං ච දත්වාන සංඝෙ ගණවරුත්තමෙ

පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

ථාමවා රූපසම්පන්නො පහට්ඨතනුජො සදා

අව්‍යාධි විසදො හොමි සප්පි තෙලස්සිදං ඵලං”

ගිතෙල් හා තෙල් සංඝයාහට පුදා කර්මයට අනුරූප වූ අනුසස් පසක් ලබමි. බල ඇත්තේ වෙමි, රූප සම්පත් ඇත්තේ වෙමි. සතුටු වූ දරුවන් ඇත්තේ වෙමි. රෝග නැත්තේ වෙමි. පිරිසිදු වෙමි. මෙය ගිතෙල් හා තෙල්වල ඵලය ය.

මුව පිරිසිදු කරන දෑ දීමේ අනුසස් පස

“මුඛසොධනකං දත්වා බුද්ධෙ සංඝෙ ගණුත්තමෙ,

පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

විසුද්ධකණ්ඨො මධුරසරො කාසසාසවිවජ්ජිතො

උප්පලගන්ධො මුඛතො උපවායති මෙ සදා”

බුදුනට ද සඟනට ද මුව පිරිසිදු කරන වස්තූන් දී කර්මයට අනුරූප වූ අනුසස් පසක් ලබමි. පිරිසිදු උගුර ඇත්තේ වෙමි. මිහිරි හඬ ඇත්තේ වෙමි. කාශශ්වාස නැත්තේ වෙමි. මාගේ මුවින් හැම කල්හිම මානෙල් මල් සුවඳ හමයි.

දී ආදිය දීමේ අනුසස්

“දධිං දත්වාන සම්පන්නං බුද්ධෙ සංඝෙ ගණුත්තමෙ

භූඤ්ජාමි අමතං විත්තං වරං කායගතා සතිං

-

වණ්ණගන්ධ රසොපෙතං මධුං දත්වා ජිනෙ ගණෙ

අනූපමං අතුලියං පිවෙ මුත්තිරසං අහං

-

යථාභුතං රසං දත්වා බුද්ධෙ සංඝෙ අනුත්තරෙ

චතුරො ඵලෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම”

බුදුනට ද සඟනට ද යහපත් වූ දී පුදා උතුම් ධනය වූ කායගතා සතිය වළඳමි. වර්ණගන්ධ රසයෙන් යුක්ත වූ මී බුදුනට සහ සඟනට දී අතුල්‍ය අනූපම වූ විමුක්තිරසය මම වළඳමි. බුදුනට ද සඟනට ද රස දී මාගේ කර්මයට අනුරූප පරිදි සතර ඵලය ලබමි.

ආහාර පාන දීමේ අනුසස් දසය

“අන්තං පානංච දත්වාන බුද්ධෙ සංඝෙ ගණුත්තමෙ

දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

ආයුවා බලවා ධීරො වණ්ණවා යසවා සුඛී

ලාභි අන්නස්ස පානස්ස සූරො පඤ්ඤාණවා සදා

ඉමෙ ගුණෙ පටිලභෙ සංසරන්තො භවේ අහං”

බුදුනට ද සඟනට ද ආහාර පාන පුදා කර්මයට අනුරූප අනුසස් දසයක් ලබමි. බොහෝ ආයු ඇත්තේ වෙමි. බලවත් වෙමි. ධෛර්‍ය්‍ය ඇත්තේ වෙමි. වර්ණ ඇත්තේ වෙමි. යශස් ඇත්තේ වෙමි. සුව ඇත්තේ වෙමි. ආහාර පාන ලබන්නේ වෙමි. ශූර වෙමි. නුවණැති වෙමි. භවයෙහි හැසිරෙන්නා වූ මම මේ අනුසස් ලබමි.

සුවඳ දුම් පිදීමේ අනුසස් දසය

“ධූපං දත්වාන සුගතෙ සංඝෙ ගණවරුත්තමෙ

දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

සුගන්ධදෙහො යසවා සීඝපඤ්ඤො ච කිත්තිමා

තික්ඛපඤ්ඤො භූරිපඤ්ඤො හාසගම්භීරපඤ්ඤවා

-

වෙපුල්ලජවනපඤ්ඤො සංසරන්තො භවාභවෙ,

තස්සෙව වාහසාදානි පත්තො සන්ති සුඛං සිවං”

බුදුනට ද සඟනට ද දුම් පුදා කර්මයට අනුරූප වූ අනුසස් දසයක් ලබමි. සුවඳ විහිදෙන සිරුර ඇත්තෙමි. යශස් ඇත්තෙමි. වහා අවබෝධ වන නුවණ ඇත්තෙමි. කීර්ති ඇත්තෙමි. තියුණු නුවණ ඇත්තෙමි. භූතාර්ථය දන්නා නුවණ ඇත්තෙමි. හාස ප්‍රඥාව ඇත්තෙමි. ගම්භීර ප්‍රඥාව ඇත්තෙමි. පැතුරුණා වූ ප්‍රඥාව ඇත්තෙමි. ජවන ප්‍රඥා ඇත්තෙමි. ඒ කුශලයේ හේතුවෙන් ශාන්ත සුවය වූ නිවනට පැමිණියෙමි.

2. ශීල පාරමිතාව

තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් හෝ නිවන හෝ පතා රක්නා වූ - පවත්වන්නා වූ - තෘෂ්ණා දෘෂ්ටි මානයන් විසින් නො පෙළන ලද්දා වූ කුශල ශීලය ශීල පාරමිතා නම් වේ.

“මේ ශීලයෙන් අනාගතයේ සිටුවරයෙක් හෝ රජෙක් හෝ දෙවියෙක් හෝ වෙමි"යි භවභෝග සම්පත් පතා රක්නා වූ පවත්වන්නා වූ තෘෂ්ණා නිශ්‍රිත වූ තෘෂ්ණාවෙන් තැලී දුබල වූ ශීලය පාරමිතා සංඛ්‍යාවට නො පැමිණේ. සත්ත්වයා ඒකාන්තයෙන් ශුද්ධියට පමුණුවන්නා වූ විදර්ශනා ධ්‍යාන මාර්ගයන් නො තකා ශීලය ම විශුද්ධියට පැමිණීමේ මාර්ගය යි වරදවා ගෙන රක්නා වූ - දෘෂ්ටි නිශ්‍රිත වූ - දෘෂ්ටියෙන් තැළී දුබල වූ ශීලය ද පාරමිතා සංඛ්‍යාවට නො පැමිණේ. ශීලය කරණකොට තමා උසස් කොට ද අනුන් පහත් කොට ද සිතන්නා වූ පුද්ගලයාගේ මාන නිශ්‍රිත වූ මානයෙන් තළා දුබල කරන ලද්දා වූ ශීලය ද පාරමිතා සංඛ්‍යාවට නො පැමිණේ. මතු දැක්වෙන පාරමිතා ගැන ද මේ ක්‍රමය මෙසේ ම සැලකිය යුතු ය. මහා බෝධිසත්වයන්ගේ පාරමිතාව ගැන පමණක් කියත හොත් -

“කරුණුපායකොසල්ලපරිග්ගහිතං කාය වචී සුචරිතං අත්ථතො අකත්තබ්බවිරති, කත්තබ්බකරණ චෙතනාදයො ච සීලපාරමිතා.”

යන චරියාපිටක අටුවා පාඨයෙන් දැක්වෙන පරිදි කරුණාවෙන් හා උපා දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද කාය වාග් සුචරිතය, අර්ථ වශයෙන් නො කළ යුත්තෙන් වැළකෙන, කළ යුත්ත කරන චේතනාදිය ශීල පාරමිතා නමැයි කිය යුතුය.

ඒ ඒ සත්ත්වයන්ගේ පුද්ගලයන්ගේ ප්‍රකෘති ස්වාභාවයෝ ශීල නම් වෙති. සත්ත්වයන්ගේ පුද්ගලයන්ගේ වශයෙන් බොහෝ ශීලයෝ වෙති. සතර පයින් යාම, තණ උලා කෑම, කතා නො කිරීම, බිම නිදා ගැනීම යන ආදී ගවයන් ගේ ප්‍රකෘති ස්වභාවය ගෝශීල නම් වේ. වකුටු වී නිදා ගැනීම, වළවල් හාරා නිදා ගැනීම, බිරීම, නගුට වැනීම, නගුට පහත් කර ගැනීම යන ආදී බල්ලන් ගේ ප්‍රකෘති ස්වභාවය කුක්කුර ශීල නම් වේ. බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ ප්‍රකෘති ස්වභාවය ආර්‍ය්‍යශීල නම් වේ.

මේ පාරමිතා කථාවෙහි “ශීලය"යි කියනුයේ ඒ ආර්‍ය්‍ය ශීලයට ය. ඒ ආර්‍ය්‍ය ශීලය බොහෝ අංග ඇති විශාල ශීලයෙකි. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දානයෙන් වැළකීම, මෛථුනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, සුරා පානයෙන් වැළකීම යනාදිය ඒ ආර්‍ය්‍යශීලයේ අංගයෝ ය. තම තමන්ට හැකි පමණින් ඒ ආර්‍ය්‍යශීලාංගයන් අනුව පිළිපැදීම සිල් රැකීමය. මේ ඉතා පහසු ක්‍රමයකින් ශීලය හැඳින්වීමකි.

කය - වචන දෙකට අකුශල ක්‍රියා විෂයෙහි හැසිරෙන්නට නො දී ඒ දෙක මනා කොට තබන බව, ආරක්ෂා කරන බව හා කුශල ධර්මයන්ට ආධාර වන බව ශීලයේ ලක්ෂණයෝ ය. සිල් රක්නා කල්හි කය වචන දෙකින් අකුසල් කරන්නට අවසර නො ලැබේ. එබැවින් ශීලය කය - වචනය දෙක මනා කොට තබන - ආරක්ෂා කරන ධර්මයෙකි. එය කය - වචන දෙකට ආරක්ෂකයකු වැනිය. ශීලයෙහි පිහිටි තැනැත්තා කෙරෙහි සකල කුශලයෝ ම ඇති වෙති. වැඩෙති. එබැවින් ශීලය කුශලයනට ආධාර ස්ථානයකි. සරු බිමෙකි. ශීලයේ විස්තර විශුද්ධිමාර්ගාදියෙන් දත යුතුය.

ශීල පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය

ශීලය සාමාන්‍යයෙන් එකක් වුව ද ගෘහස්ථ ශීල, ප්‍රව්‍රජිත ශීල වශයෙන් දෙ වැදෑරුම් වේ. ශීල පාරමිතාව පුරන බෝසත්හු ගිහි ව සිට ද පැවිදි ව ද සිල් රකිති. ගිහි ගෙයි වෙසෙන බෝසතුන් විසින් ගෘහස්ථ ශීලයන් රක්‍ෂා කිරීමෙන් ද, පැවිදිව වෙසෙන බෝසතුන් විසින් ප්‍රව්‍රජිත ශීලයන් රක්‍ෂා කිරීමෙන් ද ශීලපාරමිතාව පිරිය යුතුය. ගිහි පැවිදි සැම දෙනා ගේ ම ශීලය චාරිත්‍ර ශීල වාරිත්‍ර ශීල වශයෙන් දෙ වැදෑරුම් වේ. ඒ ඒ තත්වයේ සැටියට නො කළ යුතු ක්‍රියාවලින් වැළකීම වාරිත්‍ර ශීලය ය. කළ යුතු දෑ කිරීම චාරිත්‍ර ශීලය ය. එයින් වාරිත්‍ර ශීලය ප්‍රධාන ය. එහි ප්‍රතිපත්ති ක්‍රමය මෙසේ දත යුතුය.

චාරිත්‍ර ශීලයෙහි ප්‍රතිපත්ති ක්‍රමය

මහ බෝසත් කෙනෙකු විසින් ම සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය කරුණාව පැවැත්විය යුතු ය. සිහිනයෙන් වත් ක්‍රෝධය නූපදනා ලෙස ඒවා දියුණු කළ යුතු ය. එසේ කළ කල්හි ප්‍රාණඝාතයෙන් වැළකීම ඉබේම සිදු වේ. පරෝපකාර කිරීමේ අදහස තහවුරු කර ගෙන අනුන් අයත් වස්තුව සර්පයන් සේ ස්පර්ශ නො කළ යුතුය. ලෝභය දුරු කොට අන් සතු වස්තුව කැට කැබිලිති සේ සැලකිය යුතු ය. පරෝපකාරයට සිත නමා ගැනීමෙන් හා ලෝභය දුරුකිරීමෙන් අදත්තාදානයෙන් වැළකීම ඉබේම සිදුවේ.

ගිහිව වෙසෙන බෝසතුන් විසින් පරදාරාවන් මවුවරුන් මෙන් ද, සහෝදරියන් මෙන් ද, සැලකිය යුතු ය. එසේ සලකා පරදාර සේවනයෙන් වැළකිය යුතු ය. පැවිදි බෝසතුන් විසින් කය අශුභ වශයෙන් සලකමින් සප්ත මෛථුනයෙන් හා අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වැළකිය යුතු ය. කථා කිරීමේ දී සත්‍ය වූ ද, ප්‍රයෝජනවත් වූ ද, අනුන්ට ප්‍රිය වන්නා වූ ද, වචන පමණක් ප්‍රමාණ යුක්ත කොට කියන්නට පුරුදු කර ගත යුතු ය. එසේ පුරුදු කර ගැනීමෙන් මෘෂාවාද - පෛශුන්‍ය වචන - පරුෂ වචන කීමෙන් ද වැළකීම ඉබේ ම සිදු වේ. තමාගෙන් දීමට ම මිස අනුන්ගෙන් ගැනීමට නො සිතිය යුතුය. අනුන්ට යහපතක් ම මිස නපුරක් නො සිතිය යුතුය. කම්පල දන්නා නුවණ ඇති කර ගත යුතු ය. ගුණවතුන් භජනය කරන ගුණවතුන් ප්‍රිය කරන කෙනකු විය යුතු ය. මෙසේ සතර අපායට මාර්ගය වන දශ අකුශල කර්ම පථයෙන් වැළකී, ස්වර්ග මෝක්ෂයන්ට මාර්ග වූ දශ කුශල කර්ම පථයට බැස ගත් තැනැත්තා හට පාරමීහු පිරෙති.

ශීලය ඉබේ ම රැකෙන, ඉහත කී ගුණයන් නැත්තා වූ තැනැත්තා හට සිල් රැකීම මහ දුකෙකි. ඔහුට ශීල සමාදානය සිර ගෙයකට හසු වීමක් වැනිය. ඔහු විසින් දුකින් රක්‍ෂා කරන ශීලය දුබල ය. දුකින් සිල් රකින්නා වූ එබඳු පුද්ගලයන් ගේ ශීලය අස්ථිර ය. බිඳෙන සුලු ය. දුසිල් බවට ප්‍රතිපක්ෂ වූ ඉහත කී මෛත්‍රී කරුණාදී ගුණ ඇතිකර ගත් තැනැත්තාට සිල් රැකීමට අපහසුවක් නැත. සිල් රැකීම ඔහුට සුවයෙකි. ශීලය බිඳීම ම ඔහුට දුකෙකි. ඔහුගේ ශීලය ස්ථිරය. ඉබේ ම ඔහුගෙන් සිල් රැකෙන්නේ ය. උසස් ශීලය වනුයේ එබඳු පුද්ගලයාගේ ශීලය ය. ප්‍රාණඝාතාදිය කිරීමේ කැමැත්ත ඇති ව සිට, ශීලය නමැති වැටෙන් නො පැන යා හැකි බව නිසා, දුසිරිතෙන් වළක්නා තැනැත්තාගේ ශීලය හීනය.

ශීලාලංකාරයෙන් විනේය ජනයන් අලංකාර කරනු කැමති මහබෝසතුන් විසින් ද පරම පාරිශුද්ධියට පැමිණෙනු කැමති ප්‍රත්‍යේක බෝධිසත්ත්ව ශ්‍රාවක බෝධිසත්ත්ව වරයන් විසින් ද ආදියෙහි ම ශීලය පිරිසිදු කරගත යුතු ය.

“කිකීව අණ්ඩං චමරීව වාලධිං

පියංව පුත්තං නයනංව එකකං

තථෙව සීලං අනුරක්ඛ මානකා

සුපෙසලා හොථ සදා සගාරවා”

යන ගාථාවෙන් දැක්වෙන පරිදි කිරල් දෙන ජීවිත පරිත්‍යාගයෙන් බිජු රක්නාක් මෙන් ද, සෙමර මුවා ජීවිත පරිත්‍යාගයෙන් වලිගය රක්නාක් මෙන් ද, එක් පුතු ඇති මව පුතා රක්නාක් මෙන් ද, එක් ඇසක් ඇති තැනැත්තා එය රක්නාක් මෙන්ද පරමාදර ගෞරවයෙන් ශීලය රැකිය යුතු ය. ප්‍රමාදයෙන් සික පදයක් බිඳී ගියහොත් ගිහියන් විසින් මතු ඒ වරද නො කෙරෙමි යි ඉටා ගැනීමෙන් හෝ නැවත ශීලය සමාදන් වීමෙන් හෝ සිල් පිරිසිදු කර ගත යුතු ය. පැවිද්දන් විසින් විනය කර්මාදියෙන් නැවත ශිලය පිරිසිදු කර ගත යුතු ය.

හානභාගිය ශීලය ය, ඨිතිභාගිය ශීලය ය, විසේසභාගිය ශීලය ය, නිබ්බේධභාගිය ශීලය යයි ශීලය සිව් වැදෑරුම් වේ. පිරිහෙන අතට බර වී නැමී තිබෙන ශීලය හානභාගිය ශීලය නමි. තිබෙන සැටියට තිබෙන ශීලය ඨිතිභාගිය ශීල නමි. ධ්‍යානාදී විශේෂයන්ට බර වුණු නැමුණු ශීලය විසේසභාගිය ශීල නමි. ලෝකෝත්තර මාර්ගයට බර වුණු - නැමුණු ශීලය නිබ්බේධභාගිය ශීල නමි.

“යොච සෙවති දුස්සීලෙ සීලවන්තෙ න සෙවති,

වත්ථු වීතික්කමෙ දොසං න පස්සති අවිද්දසු.

-

මිච්ඡාසංකප්ප බහුලො ඉන්ද්‍රියානි න රක්ඛති.

එවරූපස්ස වෙ සීලං ජායතෙ හානභාගියං”

යමෙක් දුශ්ශීලයන් සේවනය කෙරේ ද, සිල්වතුන් සේවනය නො කෙරේ ද, සිකපද ඉක්මවීමේ දෝශය නො දකී ද, නුවණ නැත්තේ වේ ද, මිථ්‍යා කල්පනා බහුල කොට ඇත්තේ ද, ඉන්ද්‍රියයන් නො රකී ද එබඳු තැනැත්තා ගේ ශීලය ඒකාන්තයෙන් හානභාගිය වන්නේ ය.

“යෙ පනත්තමනො හොති සීලසම්පත්තියා ඉධ,

කම්මට්ඨානානුයොගම්හි න උප්පාදෙති මානසං

-

තුට්ඨස්ස සීලමත්තෙන අඝටන්තස්ස උත්තරිං

තස්ස තං ඨිතිභාගීයං සීලං භවති භික්ඛුනො”

මේ සස්නෙහි යමෙක් තමාගේ ශීලසම්පත්තියෙන් ම සතුටු වේ ද, කර්මස්ථානානු යෝගය ගැන නො සිතා ද ශීලමාත්‍රාදියෙන් සතුටුවන්නා වූ මතු විශේෂයකට පැමිණීමට වෑයම් නො කරන්නා වූ ඒ භික්ෂුව ගේ ශීලය ඨිතිභාගිය වේ.

“සම්පන්න සීලෝ ඝටති සමාධත්ථාය යො පන,

විසෙසභාගියං සීලං හොති ඵතස්ස භික්ඛුනො”

යමෙක් වනාහි ශීලයෙන් සම්පූර්ණ වූයේ සමාධිය පිණිස උත්සාහ කෙරේ ද, ඒ භික්ෂුවගේ ශීලය විසේසභාගිය වේ.

“අතුට්ඨො සීල මත්තෙන නිබ්බිදං යොනුයුඤ්ජති,

හොති නිබ්බෙධ භාගියං සීලමෙතස්ස භික්ඛුනො”

යම් භික්ෂුවක් තෙමේ ශීලමාත්‍රයෙන් සතුටු නො වී විදර්ශනා වැඩීමෙහි යෙදේ ද, ඒ භික්ෂුවගේ ශීලය නිබ්බේධභාගිය ශීලය වේ.

ශීල පාරමිතාව පුරන බෝසතුන් විසින් ශීලය පිළිබඳ වූ මේ ආකාර සතර සලකා සුදුසු සේ පිළිපැදිය යුතුය.

චාරිත්‍ර ශීලයෙහි ප්‍රතිපත්ති ක්‍රමය

බෝසතුන් විසින් චාරිත්‍ර ශීලය සම්පූර්ණ කිරීම් වශයෙන් වයෝ වෘද්ධත්වයෙන් හා ගුණ වෘද්ධත්වයෙන් ගරු කළ යුතු වූ කල්‍යාණ මිත්‍රයන්ට, සුදුසු පරිදි අභිවාදනය හා දැක හුනස්නෙන් නැඟී සිටීම ද, දෙ අත් එක් කොට වැඳීම ද, පා සේදීම - පවන් සැලීම ආදී සුදුසු කටයුතු ද අවස්ථානුරූපව කළ යුතු ය. කලින් කල එබඳු කල්‍යාණ මිත්‍රයන් කරා ගොස් ඔවුන් ඇසුරු කළ යුතු ය.

හැකි පමණින් රෝගීන් ට සාත්තු කළ යුතුය. සුභාෂිතයන් ඇසූ කල්හි සාධුකාර දිය යුතු ය. ගුණවතුන්ගේ ගුණ ප්‍රකාශ කළ යුතු ය. වර්ණනා කළ යුතු ය. අනුන්ගේ අපරාධ ඉවසිය යුතු ය. ඒවාට සමාව දිය යුතු ය. අනුන්ගේ උපකාර සිහි කළ යුතු ය. පින් අනුමෝදන් විය යුතු ය. තමන් ගේ පින සම්බෝධියට යොමු කළ යුතු ය. කුශල ධර්මයෙහි අප්‍රමාද විය යුතු ය. තමා ගේ වරද, වරද සැටියට පිළිගෙන එය සුදුස්සන් ඉදිරියේ නො සඟවා කියන කෙනෙකු විය යුතු ය. මතු ඒ වරද නො කරන්නට ඉටා ගෙන එසේ ම පිළිපදින්නකු විය යුතු ය.

අන්‍යයන්ගේ නිරවද්‍ය වැඩවලට අනලසව හැකි පමණින් තමාගේ තත්වයට සුදුසු පරිදි උපකාර විය යුතු ය. රෝගීන්ට හැකි පමණින් ප්‍රතිකාර කොට ඔවුන් සුවපත් කිරීමට උත්සාහ කරන්නකු විය යුතුය. ඥාති ව්‍යසනාදියෙන් ශෝකයට පැමිණියවුන් සන්සිඳ වන්නකු විය යුතු ය. නිග්‍රහ කළ යුත්තන් හට අකුශලයෙන් නඟා කුශලයෙහි පිහිටුවීම පිණිස ම ධර්මයෙන් ම නිග්‍රහ කරන්නකු විය යුතු ය. අනුග්‍රහ කළ යුත්තන්ට ධර්මයෙන් ම අනුග්‍රහ කරන්නකු විය යුතුය. අපරාධවලට අනුබල නො දිය යුතු ය.

පෙර මහබෝසතුන් විසින් කළ, සාමාන්‍ය ජනයා විසින් කළ නොහෙන, පරම දුෂ්කර ක්‍රියා ඇසූ කල්හි, මහ බෝසතුන්ගේ උදාර චරිත කථා ඇසූ කල්හි, කාහට මේවා කළ හැකිදැයි සිතා බෝධිසම්භාර පිරීමට බිය නො වී,පසු නො බැස, “මම ද ඒ මහෝත්තමයන් ගේ අඩි පාරේ යමි ය, අන්‍යයන් ට යමක් කළ හැකි නම් මට ද ඒ දේ කළ හැකිය’යි සිතා, මම ද පෙර බෝසතුන් අනුව සිල් පුරා ඔවුන් සේ ම සම්බෝධියට පැමිණෙන්නෙමි"යි ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන වීර්‍ය්‍ය නොහැර ශීල පාරමිතාව පිරිය යුතු ය.

කොතෙක් සිල් රැකියත්, කොතෙක් යහපත් ක්‍රියා කළත්, කොතෙක් දුෂ්කර ක්‍රියා කළත් ඒවා ලොවට කියා පාන්නකු නො විය යුතුය. තමන්ගේ ගුණ නො හෙළිකර අපරාධ නො සඟවන කෙනෙකු විය යුතු ය. ලෝභය දුරු කළා වූ, ලද දෙයින් සතුටු වන්නා වූ, විවේකය භජනය කරන්නා වූ ජනයා හා අමිශ්‍රව වාසය කරන්නා වූ, දුක් ඉවසන්නා වූ, ඒ ඒ දෙයට ආශා නො කරන්නා වූ, අවික්ෂිප්ත වූ, නිහතමානී වූ, අචපල වූ, අවාචාල වූ, පමණට කථා කරන්නා වූ, සන්සුන් ඉඳුරන් ඇත්තා වූ, සන්සුන් සිත් ඇත්තා වූ, කුහකාදි මිථ්‍යාජීවයෙන් වෙන් වූ, ආචාර ගෝචර සම්පන්න වූ, ස්වල්ප වරදට ද බිය වන්නා වූ, සිකපදය මනා කොට රක්නා වූ, වීර්‍ය්‍ය ඇත්තා වූ, සම්බෝධියට හා නිවනට යවන ලද සිත් ඇතතා වූ, ශරීරය ගැන හා ජීවිතය ගැන අපේක්ෂාවක් නැත්තා වූ, සිකපද බිඳ කය හා ජීවිතය ආරක්ෂා කර ගැනීමේ අදහසක් ඇති වුව හොත් එය වහා දුරු කරන්නා වූ කෙනකු විය යුතුය.

අල්පමාත්‍ර විශේෂාධිගමයකින් සතුටු නො විය යුතුය. මතු මත්තෙහි ලැබිය යුතු ධ්‍යානාදී ගුණ විශේෂයක් ලැබීම සඳහා වැඩ කිරීමෙහි නො හැකිළෙන්නා වූ, නො පසුබස්නා වූ බලවත් වීර්යයෙන් යුක්ත විය යුතු ය.

පෙරුම් පුරන්නා වූ බෝසතුන් විසින් අන්ධයනට මඟ පෙන්වීම් ආදියෙන් උපකාර කළ යුතුය. බිහිරන්ට හා ගොළුවන්ට හස්තමුද්‍රාවෙන් සංඥාදීම් ආදියෙන් අනුග්‍රහ කළ යුතු ය. පිළුන්ට යානවාහනාදියෙන් උපකාර කළ යුතුය. ශ්‍රද්ධාව නැතියවුන් සැදැහැවතුන් කිරීමට උත්සාහ කළ යුතු ය. අලසයන් අනලසයන් කිරීමට උත්සාහ කළ යුතු ය. සිහි නැතියවුන්ට සිහි ඇති කිරීමට ද, වික්ෂිප්තයන්ට සමාධිය ඇති කිරීමට ද, මෝඩයන්ට නුවණ ඇති කිරීමට ද, උත්සාහ කළ යුතු ය. කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් පෙළෙන්නවුන් කෙරෙහි ඒවා දුරු කිරීමට උත්සාහ කළ යුතු ය. කාම විතර්කාදී මිථ්‍යා විතර්ක බහුලයන් ඒවායින් මිද වීමට වීර්ය කළ යුතු ය. තමනට උපකාර කළවුනට කෙළෙහි ගුණ සලකා දුටු තැන පළමුවෙන් කථා කරන, ප්‍රිය වචනයෙන් කථා කරන, තමන්ට කළ උපකාරයට සම වූ ද, අධික වූ ද, දෙයින් සංග්‍රහ කරන්නකු විය යුතු ය. විපතේ දී කා හට වුව ද පිහිට විය යුතු ය. අන්‍යන් ගේ චරිත හා අදහස් තේරුම් ගෙන සුදුසු සැටියට ඒ ඒ අය ආශ්‍රය කිරීමටත් ඒ ඒ අය කෙරෙහි සුදුසු සේ පිළිපැදීමටත් උගත යුතුය. අනුන් ආශ්‍රය කිරීම ඒ ඒ අය අකුශලයෙන් ඉවත් කොට කුශලයෙහි පිහිටුවීම සඳහා ම කළ යුතු ය. තමාගේ ප්‍රයෝජනය නො සැලකිය යුතු ය. අනුන්ගේ සිත් ආරක්ෂා කිරීම හා අනුන් සුමඟ යැවීම බෝසත්නට කුශල් වැඩිමේ කරුණෙකි.

හිතාධ්‍යාශයෙන් වුව ද අනුන්ට පීඩා නො කළ යුතු ය. අනුන්ගේ සිත් නො රිදවිය යුතු ය. අනුන්ට සැක නො ඉපද විය යුතු ය. නිග්‍රහ වන සැටියට අනුනට චෝදනා නො කළ යුතුය. යටහත් පැවතුම් ඇතියන් ඉදිරියෙහි තමා උසස් ලෙස නො හැසිරිය යුතු ය. පමණ ඉක්මවා අනුන් ආශ්‍රය නොකළ යුතු ය. අනුන් ආශ්‍රය කිරීමෙන් සම්පූර්ණයෙන් ම ද නොවැළකිය යුතු ය. නො කල්හි අනුන් ආශ්‍රය නො කළ යුතු ය. සේවනය කළ පුද්ගලයන් දේශ කාලයන්ට අනුරූප පරිදි සේවනය කළ යුතු ය. අනුන් ඉදිරියෙහි ඔවුන්ගේ ප්‍රියයන්ට නින්දා නො කළ යුතු ය. ඔවුන් ගේ අප්‍රියයන්ට ප්‍රශංසා ද නො කළ යුතු ය. විශ්වාස නො කළ යුත්තන් විශ්වාස නො කළ යුතුය. ධාර්මික නිමන්ත්‍රණයන් ද ප්‍රතික්ෂේප නො කළ යුතු ය. අනුන්ගෙන් ඉල්ලිම නො කළ යුතු ය. දෙන දෙය වුව ද පමණ ඉක්මවා නො පිළිගත යුතු ය.

සැදැහැයෙහි අනුසස් කියා සැදැහැවතුන් සතුටු කළ යුතු ය. ශීලයේ අනුසස් කියා සිල්වතුන් සතුටු කළ යුතු ය. උගත් බවේ අනුසස් දක්වා උගතුන් සතුටු කළ යුතු ය. දීමෙහි අනුසස් දක්වා ත්‍යාගවතුන් සතුටු කළ යුතු ය. නුවණෙහි ගුණ කියා නැණවතුන් සතුටු කළ යුතු ය. ඉදින් බෝසත් තෙම අභිඥාලාභී වේ නම් අභිඥා බලයෙන් ප්‍රේතයන් හා නරකය දක්වා සත්ත්වයන් බිය ගන්නවා ඔවුන් පවින් තුරන් කොට කුශලයෙහි පිහිට විය යුතු ය. ශ්‍රද්ධාදි ගුණ ඇතියවුන් කෙරෙහි ඒව දියුණු කළ යුතු ය. මිසදිටුවන් සම්‍යක් දෘෂ්ටියෙහි පිහිට විය යුතු ය. මෙසේ කිරීමෙන් පාරමිතා පුණ්‍යස්කන්ධය වැඩෙන්නේ ය.

මෙහි චාරිත්‍ර ශීල ප්‍රතිපත්තිය කියන ලද්දේ ලොව්තුරා බුදු බවට පෙරුම් පුරන මහ බෝසතුන්ට ගැලපෙන සැටියට ය. ප්‍රත්‍යේක සම්බෝධිය හා ශ්‍රාවක බෝධිය පතනුවන් විසින් ද තම තමන්ගේ ශක්ති පමණින් ඉහත කී ප්‍රතිපත්තියම පිරිය යුතු ය.

ශීල පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය

ලෝභාදි ක්ලේශයන් ප්‍රහානය නො කළා වූ පෘථග්ජන සත්ත්වයා ගේ සිත පස්කම් සැප විඳීමට හා පාපයට නැමී, බර වී පවතී. ඔහුට වැටහෙන්නේ ශීලය කරදරයක් වශයෙනි. එබැවින් සත්ත්වයෝ බොහෝ අනුසස් ඇත ද සිල් නො රකිති. සිල් රැකිය හැකි වීමට පෘථග්ජන සත්ත්වයාගේ සිත සකස් කර ගතයුතු ය. ශීලයෙහි අනුසස් හා දුසිල් බැව්හි නපුර ද, උසස් ලෙස සිල් රැකියන් ගේ චරිත ද, මෙනෙහි කිරීමෙන් සිල් රැකිය හැකි වන පරිදි සිත සකස් වේ. එබැවින් ශීල පාරමිතාව පිරිය හැකි වීමට මතු දැක්වෙන කරුණු මෙනෙහි කළ යුතුය.

1) මේ ශීලය වනාහි ගංගා දියේ ජලයෙන් සෝදා පිරිසිදු කළ නොහෙන කෙලෙස් කිලුට සෝදා හැරීමට සමත් ජලයෙකි.

2) ගිතෙල් සඳුන් ආදී සිසිල් දෙයින් නො නිවිය හැකි කෙලෙස් දැවිල්ල නිවීමට සමත් බෙහෙතකි.

3) මුතුවැල් ඔටුනු ආදී ආභරණයන් පරදවන ආභරණයකි.

4) උඩු සුළඟට ද පැතිර යන, සුළං නැතිව ද පැතිරෙන හැම කලකට ම සුදුසු සුවඳෙකි.

5) රජුන් ගෙන් පවා ගෞරව ලැබිය හැකි උතුම් වශීකරණ මන්ත්‍රයෙකි.

6) චාතුර්මහාරජිකාදී දිව්‍යලෝකයන්ට නැඟිමට පියගැට පෙලකි.

7) ධ්‍යානභිඥා උපදවා ගැනීමට උපායෙකි.

8) නිර්වාණ මහා නගරයට වැටී තිබෙන මාර්ගයෙකි.

9) ශ්‍රාවක බෝධි ප්‍රත්‍යේක බෝධි සම්‍යක් සම්බෝධියනට භූමියකි.

10) ප්‍රර්ථනා කරන සෑම සම්පතක් ම ලැබීමේ උපාය වන බැවින් සිතුමිණි - කප්රුක් ආදිය යට කරන දෙයකි.

11) සිල්වත් තැනැත්තා හට මා විසින් යහපතක් කරන ලද ය: සසර භයට පිහිටක් කරගන්නා ලදැ'යි ශීලය නිසා මහත් වූ ප්‍රීතියක් ඇති වන්නේ ය.

12) මා විසින් මෙබඳු නො මනා දෙයක් කරන ලද්දේ ය : මා අතින් මේ මේ වැරදි සිදු වූයේය” යි සිල්වතා තමාට තෙමේ චෝදනා කර නො ගන්නේ ය.

13) අන්‍ය නුවණැත්තෝ ද මෙනම් අපරාධයක් කෙළේය"යි සිල්වතාට චෝදනා නො කරන්නාහ.

14) සිල්වතාට අපරාධ කිරීම නිසා රාජාදීන්ගෙන් දඬුවම් ලබන්නට සිදු නොවන්නේය.

15) පව් නො කරන බැවින් සිල්වතා හට අපාය භය ද නැත්තේය.

16) සිල්වතාට මොහු ගුණවතෙක කියා නුවණැත්තෝ පසස්නාහ.

17) මා විසින් නපුරු කම් කරන ලද්දේ ය. පව්කම් කරන ලද්දේය යි දුශ්ශීලයාට ඇතිවන පසුතැවිල්ල සිල්වතාට නො වන්නේ ය.

18) ශීලය, අප්‍රමාදයට කරුණු වීම් වශයෙන් භෝග ව්‍යසනාදිය වැළැක්වීම් වශයෙන් අර්ථ සාධක වන බැවින් සැපයට හේතුවකි.

19) හීන ජාති ඇත්තා වූ ද සිල්වතා හට රාජාදීන් විසින් පවා වැඳුම් පිදුම් කරන බැවින් ශීලය කුල සම්පත්තිය ඉක්මවන්නකි.

20) හොර සතුරන්ට ගත නොහෙන බැවින් ද, පරලොව යන කල්හි තමා හා එන බැවින් ද, සමථාදිගුණයන්ට ආධාර වන බැවින් ද ශීල ධනය බාහිර ධනය ඉක්මවා සිටී.

21) ශීලය පරම ඓශ්වර්‍ය්‍යයට හේතු වීම් වශයෙන් රාජාදීන්ගේ ඓශ්වර්‍ය්‍යය ඉක්මවන්නකි. ඒ ඒ සත්ත්ව නිකායන්හි සත්ත්වයනට ඊශ්වරත්වය ශීලය නිසා ලැබෙන්නේ ය.

22) සිල් නැති තැනැත්තා මළ එකකු වැනි බැවින් ශීලය ජීවිතයට ද වඩා උසස් ය.

23) සතුරන් පවා සතුටු වන බැවින් ද, ජරා රෝගාදිය නිසා වෙනසක ට නො පැමිණෙන බැවින් ද ශීලය රූප සම්පත්තිය ඉක්මව යි.

24) ශීලය ප්‍රාසාදාදි ස්ථාන හා රාජ යුවරාජාදි තනතුරු ද ඉක්ම වන්නකි.

25) නොයෙක් සැපවලට හේතු වන බැවින් ද, කිසි කලෙක වෙනස් නො වන හිතවතකු බැවින් ද, ශීලය නෑයන් ඉක්මවයි.

26) ආරක්ෂා කිරීමට දුෂ්කර වූ ආත්මය ආරක්ෂා කරන හෙයින් ශීලය බල ඇණියකට ද, මන්ත්‍රයකට ද උසස් ය.

උසස් ලෙස සිල් රැකි උතුමන්ගේ චරිත කථා

පෙර ලක්දිව උතුරුවඩුන්නා පව්වෙහි වෙසෙන එක්තරා ගොවියෙක් අම්බරිය විහාරයේ වෙසෙන පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගෙන් පන්සිල් සමාදන් වී ගොවිකමින් දිවි රකිමින් විසූයේය. එක් දිනෙක සීසාන අතර වල් වැදුණු ගොනුන් සොයනු පිණිස ඔහු උතුරුවඩුන්නා පව්වෙහි ඇවිදින අතර නපුරු පිඹුරෙකුට හසු විය. පිඹුරා තදින් ගොවියාගේ සිරුර වෙළන්නට පටන් ගත. ගොවියාගේ අතෙහි හොඳට කැපෙන කැත්තක් ද තිබුණි. පිඹුරා ගෙන් ගැලවෙනු පිණිස කැත්තෙන් උගේ හිස කපා දමන්නට ගොවියාට සිත් විය. ඔහුට එ කෙණෙහිම පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගෙන් සමාදන් වූ ශීලය සිහි විය.

සම්භාවනීය ගුරුවරයකුගේ සමීපයෙහි දී සමාදන් වූ ශීලය බිඳලීම නුසුදුසු"යි ගොවියා ඉවසුවේ ය. පිඹුරා තවත් වෙළීම තද කරන්නට විය. ගොවියාට බලවත් වේදනා ඇති වී නැවතත් පිඹුරා මරා දමන්නට සිත් විය. එහෙත් හේ එසේ නො කොට ශීලයම රක්ෂා කෙළේ ය. පිඹුරා වෙළුම තවත් තද කරන්නට වන. ගොවියාට නැවත ද ඌ මරා දැමීමේ අදහස පහළ විය. එහෙත් එසේ නො කොට ජිවිතය පරිත්‍යාග කරන්නටත්, ශීලය නො බිඳින්නටත් සිතා තවත් වේදනාව අධික වන කල්හි පිඹුරා මරන්නට සිදු නොවනු පිණිස කැත්ත ඈතට විසි කළේ ය. පිඹුරා ද ඔහු හැර ගියේ ය.

පෙර ලක්දිව විසූ “ධාර්මිකතිස්ස” රජතුමට වටුමස් කෑමේ ආශාව ඇති විය. රජතුමා “ඉදින් මම වටුමස් කන්නට කැමැත්තෙමි” යි අන්‍යන්ට කිවහොත් බොහෝ වටුවන් මරන්නාහ යි සිතා උපන් ආශාව ඉවසමින් තුන් අවුරුද්දක් ගත කළේ ය. ආශාව නිසා ම තෙවසකින් පසු රජතුමාගේ කන් අඩි පැසවීය. ඉන්පසු රජතුමා ඉවසිය නො හැකි වී, "මේ නුවර හොඳින් සිල් රක්නා කෙනෙකු ඇත්දැ'යි විචාළේය. “එසේ ය, දේවයන් වහන්ස, නොකඩ කොට සිල් රක්නා තිස්ස නමැත්තෙක් ඇතැය'යි කීහ. රජතුමා ඔහු කැඳවන ලෙස අණ කළේ ය. තිස්ස අවුත් රජුට වැඳ සිටියේ ය.

ඉක්බිති රජතුමා ‘උඹ තිස්සදැ'යි ඔහු ගෙන් අසා, “එසේ ය”යි කී කල්හි ඔහුට යන්නට අණ කොට ඔහු මඳක් දුර ගිය කල්හි කුකුළකු ගෙනවා මේ කුකුළා ගේ මස් තුන් ආකාරයකින් පිස අපට ගෙනැවිත් දෙන ලෙස කියා එක්තරා පුරුෂයකු අත තිස්සට යැවී ය. රාජ පුරුෂයා කුකුළා ගෙන ගොස් තිස්සට කාරණය කී ය. එකල්හි තිස්ස කියනුයේ “පින්වත, ඉදින් මේ කුකුළා මළ එකකු වී නම් අප දන්නා සැටියට පිස රජතුමාට පිළිගැන්විය හැකි ය. ප්‍රාණඝාතය නම් මම නො කරමි"යි කී ය.

රාජ පුරුෂයා රජු කරා ගොස් රජුට ඒ බව කී ය. රජතුමා නැවතත් තිස්ස වෙත ගොස් කුකුළා දෙන්නට නියම කළේ ය. රාජ පුරුෂයා ගොස් “පින්වත, රජ අණ බරපතල දෙයකි. එය නොඉක්මව ව, ශීලය නම් පසුව ද සමාදන් විය හැකි ය. රජ අණ කරව'යි කීය. එකල්හි තිස්ස කියනුයේ “පින්වත රජු මා නො මැරවූවත් මරණය ඒකාන්තයෙන් වන්නේ ය. එයින් නිදහස් විය නො හැකිය. ප්‍රාණඝාතය නම් මම නො කරමි'යි කීය. රාජ පුරුෂයා පෙරළා ගොස් රජුට ඒ බව සැළ කළේ ය. රජතුමා තුන්වන වර ද කුකුළා යැවී ය. තිස්ස නො පිළිගත් කල්හි නැවත ද තිස්ස ගෙන්වා රජතුමා ම තිස්සට කුකුළා පිස ගෙන එන ලෙස කී ය. තිස්ස රජතුමාට ද පළමු සේ ම කී ය.

ඉක්බිති රජතුමා රාජ පුරුෂයන් කැඳවා “මොහු රජ අණ ඉක්ම වන්නේ ය. මොහු ගෙන ගොස් මොහු ගේ හිස සිඳ දමව්” යයි කීයේ ය. එසේ කියා “මොහුට තර්ජනය කරමින් බිය ගන්වමින් මරණ තැනට ගෙන ගොස් හිස් කපනා කොටය උඩ මොහු නිදි කරවා මා හට කියව"යි රහසින් රාජ පුරුෂයන්ට දැන්වීය. රාජ පුරුෂයෝ තිස්ස උපාසක වධකස්ථානයට ගෙන ගොස් දංගෙඩිය මත හොවා, කුකුළා අතට දී රජුගේ නියෝගය කරත හොත් තවමත් නිදහස් වන්නට ඉඩ ඇති බව කීහ. තිස්ස උපාසක කුකුළා අතට ගෙන “දරුව, මාගේ ජීවිතය තට දෙමි. තාගේ ජීවිතය මම ගනිමි. තෝ සුවසේ යව” යි කියා කුකුළා හැරියේ ය. ඌ පියඹා ගසකට ගියේ ය. කුකුළාට අභය දුන් ඒ ස්ථානය කුක්කුටගිරි නම් වේ.

රජ ඒ ප්‍රවෘත්තිය අසා තිස්ස උපාසක ගෙන්වා සර්වාභ-රණයෙන් සරසවා, සත්කාර කරවා, “දරුව මට වටුමස් කෑමට ආශාව ඇති වී තුන් අවුරුද්දක් විය. එය සොයවා ගැනීමට සුදුස්සකු සොයනු පිණිස නුඹ ගැන විමසුවෙමි ය. මා හට ත්‍රිකෝටිපාරිශුද්ධ වටුමසක් සපයා දිය හැකිදැ"යි ඔහුගෙන් ඇසී ය. තිස්ස උපාසක “එසේ ය; දේවයන් වහන්ස ය"යි කියා රජුගෙන් අවසර ගෙන ගොස් එක් උදෑසනක නුවර දොරටුව ළඟදී මළ වටුවන් තිදෙනකු ගෙනෙන මිනිසකු දැක ඔහුගෙන් ඒවා මිලයට ගෙන පිස, රජුට පිළිගැන්වීය.

රජතුමා එක් වටුවකුගෙන් කැබෙල්ලක් කඩා මුඛයෙහි තැබීය. එකෙණෙහි රජුගේ ශරීරයේ සත් සියයක් රස නහරවල මස් රසය පැතිර ගියේය. එකෙණෙහි රජතුමාට සංඝයා වහන්සේ සිහි විය. එතුමා මම රජෙක් ව සිට ද වටුමස් කන්නට සිතී තුන් අවුරුද්දක් නො ලැබ සිටියෙමි. ආහාර පිසීම නො කරන භික්ෂූන් වහන්සේලා කොයින් වටුමස් ලබත්දැ'යි සිතා මුව තුල ලූ මස් කඩ බිම හෙළී ය. තිස්ස උපාසක දණ බිම හැණ ඒ මස් කඩ මුවින් ම ගත්තේ ය. එකල්හි රජතුමා මම නුඹේ නිර්දෝෂ භාවය දනිමි ය කියා මස් කඩ බිම හෙලූ කරුණ ඔහුට කියා ඉතිරි මස් ආරක්ෂා කර තබන්නට කී ය.

දෙවන දිනයෙහි රාජ කුලුපග තෙරුන් වහන්සේ පිඬු සිඟා වැඩියහ. තිස්ස උපාසක තෙරුන් වහන්සේ දැක පාත්‍රය ගෙන රජ මැදුරට වැඩමවා ගෙන ගියේය. මහලු කල පැවිදි වූ තවත් භික්ෂුවක් ද තෙරුන් වහන්සේ හා යන කෙනෙකුගේ විලාසයෙන් රජ ගෙදරට පිවිසියේය. තෙරුන් වහන්සේ ඒ භික්ෂුව රජු ගේ ආරාධනාවකින් එන කෙනෙකැ යි සිතා තුෂ්ණිම්භූත වූහ. උපාසක තුමා ද තෙරුන් වහන්සේ ගේ උපස්ථායක භික්ෂුවක් වන්නට ඇතැ'යි තුෂ්ණිම්භූත විය. රජතුමා ඒ දෙනම වඩා හිඳුවා කැඳ පිළිගන්වා වටුමස් පිළිගැන්වී ය. තෙරුන් වහන්සේ එක් වටුවකු පිළිගත්හ. අනික් භික්ෂුව ද එක් වටුවකු පිළිගත්තේ ය. රජතුමා ඉතිරි කොටස ද නො විචාරා වැළඳීම නුසුදුසු යි සිතා ඉතිරි මස තෙරුන් වහන්සේට එල විය. තෙරුන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. අනික් භික්ෂුවට පිරිනැමූ කල්හි එය ද පිළිගත්තේ ය.

තුන් අවුරුද්දක් බලාපොරොත්තු වූ රජුට වටුමස් වළඳන්නට නො ලැබිණ. බලවත් දානාධ්‍යාශය ඇතියකු වුව ද රජතුමාට එදා සිත සතුටු කර ගන්නට නුපුළුවන් වි ය. වළදා අවසන් වූ පසු තෙරුන් වහන්සේ වඩනා කල්හි රජතුමා පාත්‍රය ද ගෙන උන් වහන්සේ අනුව ගොස් “ස්වාමීනි, ගෙවලට වඩනා කල්හි වත උගත් භික්ෂූන් සමඟ වඩනට වටනේය’යි සැල කෙළේ ය. එය අසා තෙරුන්වහන්සේ මහළු මහණ රජුගේ නිමන්ත්‍රණයෙන් පැමිණියකු නො වන බව තේරුම් ගත්හ.

තෙරුන් වහන්සේ පසු දින තමන් වහන්සේගේ උපස්ථායක සාමණේර නමක් සමඟ රජ මැදුරට වැඩියහ. රජතුමාට වටුවන් තිදෙනකු ලැබී තිබිණ. තෙරුන් වහන්සේ කැඳ වැළඳූ පසු රජතුමා වටුමස් එල වීය. තෙරුන් වහන්සේ එක් වටුවකු පිළිගත්තේ ය. ඉතිරි වටුවා සාමණේරයන්ට එල වූ කල්හි සාමණේරයෝ ඇඟිල්ලෙන් සංඥා කොට මැදින් කඩවා එක් කොටසක් පිළිගත්හ. රජතුමා එය ද නැවත තෙරුන් වහන්සේට එල වීය. තෙරුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේක. සාමණේරයන්ට එල වූ කල්හි සාමණේරයෝ ද ප්‍රතික්ෂේප කළහ. රජතුමා ඉතිරි වටුමස් අනුභව කරමින්, වත් දත් පැවිද්දන් වහන්සේලා නිසා වටුමස් එකහමාරක මස් වළඳන්නට ලදිමි'යි කී ය.

ජීවිතයට ද උතුම් කොට සිල් රක්නා එක්තරා ස්ථවිරයන් වහන්සේ කෙනකුන් මහාවත්තනි නම් වනයෙහිදී සොරු කළුවැල්වලින් බැඳ නිදිකර වූහ. නො මැරුණු පැලවෙන ස්වභාවය ඇති වැල සිඳ දැමීමෙන් ඇවැත් වන නිසා ඒ සිල්වත් තෙරුන් වහන්සේ ජීවිතය නිසා ද ඒ සුළු වරද නො කළහ. උන්වහන්සේ නිදා සිටිමින් ම විදසුන් වඩා අනාගාමී ඵලයට පැමිණ සත්වන දිනයෙහි කාලක්‍රියා කොට බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ.

ලක්දිව එක්තරා වනයක දී සොරු එක්තරා තෙරුන් වහන්සේ කෙනකු රසකිඳ වැල්වලින් බැඳ තැබූහ. ඒ තෙරුන් වහන්සේ වනය ගිනි ඇවිලීගෙන එන කල්හි ද වැල් නො සිඳ, එසේ ම හිඳ විදසුන් වඩා අර්හත්වයට පැමිණ ගින්නෙන් දැවී පිරිනිවන් පා වදාළ සේක. ජීවිතය නො තකා සිල් රැකි උතුමන් පිළිබඳ මෙබඳු කථා බොහෝ ඇත්තේ ය.

ශීල පාරමිතාවේ ප්‍රභේද

ශීල පාරමිතාව ය, ශීල උප පාරමිතාව ය, ශීල පරමාර්ථ පාරමිතාව ය යි ශීල පාරමිතාව ත්‍රිවිධ වේ.

ලෝකයෙහි ඇතැමෙක් ක්‍රීඩා පිණිස ද, තමන් ගේ සමත්කම් පෙන්වීමට ද, ක්‍රෝධ ඊර්ෂ්‍යාදිය නිසා ද, ප්‍රාණඝාතාදි පව්කම් කරති. සිල් රක්නා වූ ඇතැම්හු එවැනි නිරර්ථක දේ ගැන පව්කම් නො කරති. ගොයම් රැක ගැනීමට මැස්සන් මරන්නාක් මෙන්, ධාන්‍ය රැක ගැනීමට මීයන් මරන්නාක් මෙන්, යම්කිසි පාපක්‍රියාවක් නො කළ හොත් තමන්ගේ ධනය නො රැකෙන අවස්ථා පැමිණි කල්හි ධනය රැක ගැනීම පිණිසත්, අඹුදරුවන්ට විපත් පැමිණෙන කල්හි ඔවුන් රැක ගැනීම පිණිසත් පව්කම් කරති. පව්කම් නොකළ හොත් නොලැබිය හැකි ඇතැම් වස්තූන් ලබනු පිණිස ද පව්කම් කෙරති. කරුණක් පැමිණි කල්හි ධනය නිසාත්, අඹුදරුවන් නිසාත් බිඳින්නා වූ ඔවුන්ගේ ඒ ශීලය ශීලයක් වුවත් එය උසස් ශීලයක් නො වන බැවින් මේ පාරමී කථාවෙහි ඒ ශීලය ගණන් ගනු නො ලැබේ. ඇතැමෙක් වස්තුව විනාශ වන කල්හි වස්තුව රැක ගැනීමටවත්, වස්තු නැති කල්හි ලබා ගැනීමටවත්, අඹු දරුවන් නිසාවත් පව් කම් නො කරති. අඹුදරුවන් හා වස්තුව පරිත්‍යාග කිරීමෙන් ශීලය ම රකිති. අඹුදරුවන් නිසා වත්, වස්තුව නිසාවත් නොකඩ කරන්නා වූ ඔවුන්ගේ ඒ ශීලය ශීල උප පාරමිතාව ය.

වස්තුව හා අඹුදරුවන් පරිත්‍යාග කොට පවින් වැළකීමට සමත් සෑම දෙනා ම යම්කිසි පවක් නො කළ හොත් තමන්ගේ ශරීරාවයවයන් නැසෙන, නො රැකෙන තැනක් පැමිණියහොත්, පව්කම් කොට ශීලය බිඳ ශරීරාවයව රැක ගනිති. ඇතැමෙක් ශරීරාවයව ද විනාශ වෙතොත් විනාශ වේවා‘යි එය පරිත්‍යාග කොට ශීලය ම උසස් කොට ගෙන රකිති. ශරීරාවයවයන් පරිත්‍යාග කොට රක්නා වූ ඒ ශීලය ශීල උප පාරමිතාව ය.

ශරීරාවයවයන් ද පරිත්‍යාග කොට සිල් රැකීමේ ශක්තිය ඇති සැම දෙන ම ශීලය නො කඩ කළ හොත්, ජීවිතය නො රැකෙන අවස්ථාවක් පැමිණියහොත් ඒ අවස්ථාවේ දී ජීවිතය රකිනු පිණිස පව්කම් කොට ශීලය බිඳිති. ඇතැම් පින්වත්හු තමාගේ ජීවිතය පරිත්‍යාග කර ධම්මිකතිස්ස රජතුමාගේ අණට කීකරු නො වී කුකුළා මැරීම නො කළ උපාසකතුමා මෙන් ද, පිඹුරා ශරීරය වෙළන කල්හි අත තුබූ කැත්ත ඈතට විසිකර ශීලය ම ජීවිතයට වඩා උසස් කොට රැකි උතුරු වඩුන්නාවේ ගොවියා මෙන් ද සිල් රකිති. ජීවිත පරිත්‍යාගයෙන් රක්නා වූ ඒ ශීලය ශීල පරමාර්ථ පාරමිතාව ය.

සිල් රකින්නා වූ සෑම දෙනාට ඒ ශීලය ධනාදිය පරිත්‍යාග කොට රකින්නට සිදුවන අවස්ථාවල් මුණ ගැසෙන්නේ නැත. තමා රක්නා ශීලය පාරමිතාව හෝ උප පාරමිතාව හෝ පරමාර්ථ පාරමිතාව හෝ වීමට එබඳු කරුණු මුණ ගැසෙන්නට ම ඕනෑ නැත. සිල් රක්නා වූ යමකුට ඒ ශීලය, ධනය නිසා හෝ අඹුදරුවන් නිසා හෝ නො බිඳෙන තරමේ අධිෂ්ඨාන ශක්තිය ඇත්තේ නම් ඔහුගේ ශීලය ශීල පාරමිතාව වේ.

යමකුට ශරීරාවයවයක් නිසා ශිලය නොබිඳෙන තරමේ අධිෂ්ඨාන ශක්තිය ඇත්නම් ශරීරාවයව පරිත්‍යාග කොට ශීලය රකින්නට සිදුවන අවස්ථා නො පැමිණියේ ද ඔහුගේ ශිලය ශීල උපපාරමිතාව ය.

යමකුට ජීවිතය නැසුනත් ශීලය නොකඩ කරන තරමේ අධිෂ්ඨාන ශක්තිය ඇත්තේ නම් ඔහුට ජීවිත පරිත්‍යාගයෙන් ශීලය රකින්ට සිදුවන අවස්ථා නො පැමිණියේ ද ඔහුගේ ශිලය ශීල පරමාර්ථ පාරමිතාව වේ. කරුණු මුණ ගැසුණ හොත් තමාගේ ශීලාධිෂ්ඨාන ශක්තිය කො පමණ ද යන බව නිවැරදි ලෙස තේරුම් ගත හැකි වේ.

මහ බෝසතාණන් වහන්සේගේ ශීල පාරමිතාව දැක්වීමට චරියාපිටකයෙහි එන මාතෘපෝෂක හස්ති රාජ, භූරිදත්තරාජ, චම්පෙය්‍ය නාගරාජ, චූලබෝධි තාපස, මහිසරාජ, රූරුමිගරාජ, මතංගපණ්ඩිත, ධර්මදේවපුත්‍ර, අලිනසත්තු, සංඛපාල යන චරිත විස්තර කළ යුතුය. මහ බෝසතාණන් වහන්සේ නොයෙක් ජාතිවල පෙර බුදුසසුන්වල පැවිදිවත්, සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිවත් ශීල පාරමිතාව පිරූ බව බුද්ධ වංශයෙන් හා ජාතක පොතෙන් ද පෙනේ. ප්‍රත්‍යේක බෝධිසත්ත්වරු ද එසේ ම පැවිදි ව ඇති බව ප්‍රත්‍යේක බුද්ධ චරිතවලින් පෙනේ.

යො පබ්බජි ජාතිසතානි පඤ්ච

පහාය කාමානි මනොරමානි,

තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං

පරිනිබ්බුතං වන්දථ සාරිපුත්තං

යනාදීන් ශාරිපුත්‍ර, මෞද්ගල්‍යාන, මහාකාශ්‍යපාදි මහරහතන් වහන්සේලා ද පෙර ජාතිවල පැවිදිව ශීල පාරමිතාව පුරා ඇති බව දක්වා තිබේ. එබැවින් ලොව්තුරා බුදු බවටත්, පසේබුදු බවටත්, අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක බවටත් ගිහිව සිල් රැකීම් වශයෙන් ශීල පාරමිතාව පිරීම ම ප්‍රමාණ නො වන බව සිතිය යුතු ය.

ඒ උසස් තත්වයන් පතනුවන් විසින් පැවිදිව සිල් රැකීම් වශයෙන් ද ශීල පාරමිතාව පිරිය යුතු ය. ප්‍රකෘති ශ්‍රාවකයන් ගේ ශීල පාරමිතාව සම්පූර්ණ වීමට පැවිදි විය යුතු ම යයි කියන්නට තරම් කරුණු නො පෙනේ. එහෙත් ඒ සඳහා පැරුම් පුරන පින්වතුන්ටත් පැවිදිව ශීල පාරමිතාව පිරීම ම හොඳ බව කිව යුතුය.

සීලානිසංසය

ශීලයෙහි අනුසස් බොහෝ ය. ශීලානිසංස දැක්වෙන දේශනා ද බොහෝ ය. මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ ප්‍රථම වර්ගයේ ආකංඛෙය්‍ය සූත්‍රය හා විසාඛුපෝසථ සූත්‍රය ද විශේෂයෙන් සීලානිසංසය දැක්වෙන සූත්‍ර දෙකකි. සීලානිසංසය දැක්වෙන සීලවත්ථෙර ගාථා මෙසේ ය.

(1) සීලමෙවිධ සික්ඛෙථ අස්මිං ලොකෙ සුසික්ඛිතං

සීලං හි සබ්බසම්පත්තිං උපනාමෙති සෙවිතං

-

(2) සිලං රක්ඛෙය්‍ය මෙධාවි

පත්ථයානො තයො සුඛෙ

පසංසං විත්තිලාභඤ්ච

පෙච්චසග්ගෙ පමොදනං

-

(3) සීලවා හි බහූමිත්තෙ සඤ්ඤමෙනාධිගච්ඡති

දුස්සීලෝ පන මිත්තෙහි ධංසතෙ පාපමාචරං

-

(4) අවණ්ණං ච අකිත්තිං ච

දුස්සීලො ලභතෙ නරො

වණ්ණ කිත්ති පාසංසඤ්ච

සදා ලභති සීලවා

-

(5) ආදි සීලං පතිට්ඨා ච කල්‍යාණනඤ්ච මාතුකං

පමුඛං සබ්බධම්මානං තස්මා සීලං විසොධයෙ

-

(6) වෙලා ච සංවරො සීලං චිත්තස්ස අභිහාසනං

තිත්ථං ච සබ්බබුද්ධානං තස්මා සීලං විසොධයෙ

-

(7) සීලං බලං අප්පටිමං සීලං ආවුධමුත්තමං

සීලං ආභරණං සෙට්ඨං සීලං කවචමබ්භූතං

-

(8) සීලං සෙතු මහෙසක්ඛො

සීලං ගන්ධො අනුත්තරො

සීලං විලෙපනං සෙට්ඨං

යෙන වාති දිසො දිසං

-

(9) සීලං සම්බල මෙවග්ගං සීලං පාථෙය්‍ය මුත්තමං

සීලං සෙට්ඨො අතිවාහො යෙන යාති දිසො දිසං

-

(10) ඉධෙව නින්දං ලභති

පෙච්චා’පායෙ ච දුම්මනො

සබ්බත්ථ දුම්මනො බාලො

සීලෙසු අසමාහිතො

-

(11) ඉධෙව කිත්තිං ලභති

පෙච්ච සග්ගෙ ච සුම්මනො

සබ්බත්ථ සුමනො ධීරො

සීලෙසු සුසමාහිතො

-

(12) සීලමෙව ඉධ අග්ගං පඤ්ඤවා පන උත්තමො

මනුස්සෙසු ච දෙවෙසු සීල පඤ්ඤාණතො ජයං

ගාථාවල තේරුම පිළිවෙලින් මෙසේ දත යුතු.

1. මේ ලෝකයෙහි අභිවෘද්ධිය කැමති තැනැත්තේ චාරිත්‍ර වාරිත්‍රාදි ප්‍රභේද ශීලය ම රක්නේ ය. රක්නා ලද ශීලය සිල් රැකි පුද්ගලයා හට සකල සම්පත්තීන් ම ගෙන දෙන්නේ ය.

2. ප්‍රශංසාවය, සතුටය, මතු දෙව්ලොව සතුටු වීම ය යන කරුණු තුන ප්‍රාර්ථනා කරන නුවණැත්තේ ශීලය රක්නේ ය.

3. සිල්වත් තැනැත්තේ තමා ගේ හික්මීමෙන් බොහෝ මිත්‍රයන් ලබන්නේ ය. දුශ්ශීලයා වනාහි පව් කම් කිරීමෙන් මිත්‍රයන්ගෙන් පහවන්නේ ය.

4. දුසිල් මිනිසා ඉදිරියේ ගර්හාව ද, අපකීර්තිය ද ලබන්නේ ය. ගුණ වර්ණනාව ද, කීර්තිය ද ඉදිරියේ කරන ප්‍රශංසාව ද, සිල්වතා හැම කල්හි ලබයි.

5. ශීලය කුශලයන්ට මුල ය. ධ්‍යානාදී උත්තරී මනුෂ්‍ය ධර්මයන්ගේ පිහිට ය. (ඒවා ඇති වන වැඩෙන බිම ය.) සමථ විදර්ශනාදි වූ කල්‍යාණ ධර්මයන් ගේ මව ය. සකලානවද්‍ය ධර්මයන් ගේ ද්වාරය ය. එබැවින් ශීලය පිරිසිදු කරන්නේ ය.

6. සංවර ශීලය දුශ්චරිත සංඛ්‍යාත ජලස්කන්ධය නවත්වන වෙරළ ද වේ. රක්නහුගේ සිත සතුටු කරවන දෙය ද වේ. සියලු බුදුවරයන් නිර්වාණ නමැති සයුරට බස්නා තොට ද වේ.

7. ශීලය මාරසේනා මර්දනය කරන අසදෘශ මහා සේනාව ය, ශීලය කෙලෙසුන් සිඳින උතුම් ආයුධය ය. ශීලය ශ්‍රේෂ්ඨ ආභරණයෙක. ශීලය අද්භූත සන්නාහයෙක.

8. ශීලය සංසාර සාගරයෙන් එතර වීමට ඇති මහානුභාව සම්පන්න හෙයකි. (පාලමකි) උඩු සුළඟෙහි ද යන සුවඳක් වීමෙන් ශීලය එයට වඩා උතුම් සුවඳක් නැති උසස්ම සුවඳ ය. ශීලය, ඇඟ ගලවා ගෙන සිටින උතුම් තැනැත්තාගේ සුවඳ සියලු දිසාවන්හි පැතිර යන උතුම් විලවුනෙකි.

9. ශීලය සංසාර කාන්තාරයේ ගමන් කරන තැනැත්තා හට ගෙන යා හැකි පිළුනු නො වන නො නැසෙන බත් මුලකි. ශීලය වුවමනා සෑම දෙයක් ම ලබා ගත හැකි සොර සතුරන්ට නොගත හැකි උසස් මාර්ගෝපකරණයෙකි. (මඟ වියදමට ගන්නා මුදල් පසුම්බියකි) ශීලය කිසි අනතුරකට කරදරයකට හසු නො වේ. කැමති දිශාවකට යා හැකි උතුම් යානයෙකි.

10. ශීලයෙහි නො පිහිටියා වූ අඥයා මෙලොව ද නින්දා ලබන්නේ ය. මරණින් පසු අපාගත වී කණගාටු වන්නේ ය. හැම තන්හි ම නො සතුටින් ම වෙසෙන්නේ ය.

11. සිල් රක්නා වූ නුවණැත්තා මෙලොව ද කීර්තිය ලබන්නේ ය. මරණින් පසු ස්වර්ගයෙහි සතුටු වන්නේ ය. සෑම තන්හි ම සතුටු වන්නේ ය.

12. නොයෙක් ලෞකික සම්පත් ලබා දෙන බැවින් ද සංසාර දුක්ඛයෙන් එතර කොට නිවනට පමුණු වන බැවින් ද ශීලය උතුම් ම ය. එසේ ම නුවණැත්තා ද උතුම් ය. මිනිස් ලොව ද, දෙව්ලොව ද, ශීල ප්‍රඥා දෙකින් ජය ලබන්නේ ය.

දානය හා ශීලය

යඤ්ච ගහපති වෙලාමො බ්‍රාහ්මණො දානං අදාසි මහ දානං. යොචෙකං දිට්ඨිසම්පන්නං භොජෙය්‍ය, යො ච සතං දිට්ඨිසම්පන්නානං භොජෙය්‍ය, යොචෙකං සකදාගාමිං භොජෙය්‍ය, යො ච සතං සකදාගාමීනං භොජෙය්‍ය, යොචෙකං අනාගාමිං භොජෙය්‍ය, යො ච සතං අනාගාමීනං භොජෙය්‍ය, යොචෙකං අරහන්තං භොජෙය්‍ය, යො ච සතං අරහන්තානං භොජෙය්‍ය, යොචෙකං පච්චේකබුද්ධං භොජෙය්‍ය, යො චෙ සතං පච්චෙකබුද්ධානං භොජෙය්‍ය, යො ච තථාගතං අරහන්තං සම්මසම්බුද්ධං භොජෙය්‍ය, යොච බුද්ධපමුඛං සංඝං භොජෙය්‍ය යොච චතුද්දිසං සංඝං උද්දිස්ස විහාරං කාරාපෙය්‍ය, යො ච පසන්නචිත්තො බුද්ධඤ්ච ධම්මඤ්ච සංඝඤ්ච සරණං ගච්ඡෙය්‍ය, යො ච පසන්නචිත්තො සික්ඛාපදානි සමාදියෙය්‍ය, පාණාතිපාතා වෙරමණිං අදින්නාදානා වෙරමණිං කාමේසු මිච්ඡාචාරා වෙරමණිං මුසාවාදා වෙරමණිං සුරාමෙරය මජ්ජපමාදට්ඨානා වෙරමණිං ඉදං තතො මහප්ඵලතරං.

(වේලාම සුත්ත)

වේලාම බ්‍රාහ්මණයා සියල්ල සුවාසු දහස බැගින් පිළියෙළ කොට මහා දානයක් බුදුසස්න නැති කල්හි දුන්නේය. ඒ මහා දානයට වඩා එක් සෝවාන් පුද්ගලයකු වැළඳවීම මහත්ඵල බවත්, සෝවාන් පුද්ගලයන් සියයකට වැළඳවීම ඊට වඩා මහත්ඵල බවත්, එක් සකෘදාගාමී පුද්ගලයකු වැළඳවීම ඊට වඩා මහත්ඵල බවත්, සකෘදාගාමී පුද්ගලයන් සියයකට වැළඳවීම ඊට වඩා මහත්ඵල බවත්, එක් අනාගාමී පුද්ගලයකු වැළඳ වීම ඊට වඩා මහත්ඵල බවත්, අනාගාමි පුද්ගලයන් සියයකට වැළඳවීම ඊට වඩා මහත්ඵල බවත්, ඊට වඩා එක් රහත් පුද්ගලයකු වැළඳවීම මහත්ඵල බවත්, ඊට වඩා රහත් පුද්ගලයන් සිය දෙනකු වැළඳ වීම මහත් ඵල බවත්, ඊට වඩා එක් පසේ බුදුවරයකු වැළඳවීම මහත්ඵල බවත්, ඊට වඩා පසේ බුදුවරයන් සිය දෙනකුන්ට වැළඳ වීම මහත්ඵල බවත්, ඊට වඩා ලොවුතුරා බුදු වරයකු වැළඳවීම මහත්ඵල බවත්, ඊට වඩා බුදුන් ප්‍රමුඛ සංඝයා වැළඳවීම මහත්ඵල බවත්, ඊට වඩා සිව් දිග වෙසෙන සංඝයා උදෙසා විහාරයක් කරවීම මහත්ඵල බවත්, ඊට වඩා පහන් සිතින් රත්නත්‍රය සරණයාම මහත් ඵලබවත්, ඊට වඩා පහන් සිතින් පඤ්චශීලය සමාදන්වීම මහත්ඵල බවත් මේ සූත්‍ර පාඨයෙන් තථාගතයන්වහන්සේ විසින් වදාරා තිබේ. එයින් කියන ලද හැම දානයකට ම වඩා පඤ්චශීල සමාදානය උසස් බව පෙනේ. පඤ්චශීල සමාදානය ම හැම දානයකට ම උසස් වන කල්හි එයට වඩා උසස් ශීලයක් සමාදන් වීම ගැන කියනු ම කිම?

මෙහි දැක්වෙන සරණ ගමනය සාමාන්‍ය සරණ ගමනය නොව කිසි කලෙක වෙනස් නො වන ලෝකෝත්තර සරණ ගමනය ය. පඤ්චශීල සමාදානයත් ලෝකෝත්තර විරතිය ය. මෙකල බෞද්ධයෝ දන් දෙන තැන්වල දී ද බණ අසන තැන්වල දී ද වන්දනා කිරීමේ දී ද පන්සිල් සමාදන් වීමය කියා සික පද කීමක් කරති. එය සිකපද කීමක් මිස, සීල සමාදානයක් නොවේ.

සමාදාන යන්නෙහි තේරුම මනා කොට ගැනී ය, පිළිගැනීම ය යනුයි. මම අද පටන් ප්‍රාණඝාත නො කරමි යි ප්‍රාණඝාතයෙන් වැළකී සිටින හැටියට පිළිගැනීමත්, අදත්තාදානාදියෙන් ද එසේ වැළකී සිටින සැටියට පිළිගැනීමත් පඤ්චශීල සමාදාන ය යි. ඇත්ත වශයෙන් ප්‍රාණ ඝාතාදියෙන් වැළකීමේ අදහස නැතිව නිකම් සිකපද කීම සිකපද කිමක් මිස සිල් සමාදන් වීමක් නො වේ. ඒ සිකපද කීම දවසට දෙ වරක් නොව සිය වරක් කළත් එහි ඇති වටිනා කමක් නැත. ඇතැමෙක් සමාදන් වීමේ දී ඇත්ත වශන්යෙන් ම සමාදන් වෙති. ශක්තියක් නැති කමින් ඔවුන්ට එහි පිහිටිය හැකි නො වෙයි. සමාදන් වූ සිකපදය පසුව කඩ කරති. එබඳු දුබල සමාදානයෙහි ද වැඩි වටිනාකමක් නැත්තේ ය. හොඳට ම වටිනාකම ඇත්තේ සමාදන් වීමෙන් පසු කිසි කලෙක කඩ නො කරන ස්ථිර සමාදානයේ ය. කියන ලද සූත්‍ර පාඨයෙහි දැක්වෙන්නේ කවදාවත් නො කඩන ලෝකෝත්තර සීල සමාදානය ය.

පඤ්චශීලය මහා දාන පසක් වන බව

පඤ්චිමානි භික්ඛවෙ, දානානි මහාදානානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි වංසඤ්ඤානි පොරාණානි අසංකිණ්ණානි අසංකිණ්ණපුබ්බානි න සංකීයන්ති න සංකීයිස්සන්ති අප්පතිකුට්ඨානි සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි, කතමානි පඤ්ච?

1. ඉධ භික්ඛවෙ, අරියසාවකෝ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, පාණාතිපාතා පටිවිරතො භික්ඛවෙ, අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති: අවෙරං දෙති, අබ්‍යාපජ්ඣං දෙති. අපරිමාණානං සත්තානං අභයං දත්වා අවෙරං දත්වා අබ්‍යාපජ්ඣං දත්වා අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්‍යාපජ්ඣස්ස භාගී හොති.

ඉදං භික්ඛවෙ, පඨමං දානං මහා දානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්ණං අසංකිණ්ණපුබ්බං න සංකීයති න සංකීයිස්සති අප්පතිකුට්ඨං සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි. අයං භික්ඛවෙ, චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.

2. පුන ච පරං භික්ඛවෙ අරියසාවකො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති - පෙ -

3. කාමෙසුමිච්ඡාචාරං පහාය කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති - පෙ -

4. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති - පෙ -

5. සුරාමෙරය මජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරය මජ්ජපමා-දට්ඨානා පටිවිරතො හොති. සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො භික්ඛවෙ, අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති. අවෙරං දෙති. අබ්‍යාපජ්ඣං දෙති. අපරිමාණානං සත්තානං අභයං දත්වා, අවෙරං දත්වා, අබ්‍යාපජ්ඣං දත්වා, අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්‍යාපජ්ඣස්ස භාගී හොති.

ඉදං භික්ඛවෙ, පඤ්චමං දානං මහාදානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්ණං අසංකිණ්ණ පුබ්බං න සංකීයති න සංකියිස්සති අප්පතිකුට්ඨං සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි. අයං භික්ඛවෙ අට්ඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛ විපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.”

මේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම පණ්ණාසකයේ සතරවන වර්ගයේ එන සූත්‍රයකින් කොටසකි. එහි තේරුම මෙසේය

මහණෙනි, අග්‍රය යි සලකනු ලබන්නා වූ, දීර්ඝ කාලයක පටන් පැවැත්තාහු යයි සලකනු ලබන්නා වූ, මහෝත්තමයන්ගේ වංශය යි සලකනු ලබන්නා වූ, පෞරණික වූ, නො මනාය යි ඉවත නො ලන ලද්දා වූ, අතීත බුදුවරයන් විසින් ඉවත නො ලන ලද්දා වූ, පස් දෙනෙක් වූ, මේ දානයෝ මහාදානයෝ ඇතහ. ඒ දානයන් දැනුදු බැහැර නො කෙරෙති. මතු බුදුවරයෝ ද බැහැර නො කරන්නාහ. ඒ දානයෝ ශ්‍රමණයන් විසින්, බ්‍රහ්මණයන් විසින්, නුවණැතියන් විසින් ගර්භා නො කරන ලද්දෝ ය.

ඒ දානයෝ පස්දෙනා කවරහුද යත්?

(1) මහණෙනි, මේ සස්නෙහි ආර්යශ්‍රාවක තෙමේ ප්‍රණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේ ද, මහණෙනි, ප්‍රාණඝාතයෙන් වැළකුණා වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. අවෛරය දෙයි. නිදුක් බව දෙයි. හේ අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී අප්‍රමාණ අභයයට අවෛරයට නිදුක් බවට හිමි වෙයි.

මහණෙනි, මෙය අග්‍රය යි සලක්නා වූ, පරණය යි සලකන්නා වූ බුද්ධාදීගේ වංශය යි සලකන්නා වූ, පරණ වූ දැනුදු අහක නො දමන්නා වූ, මතු බුදුවරයන් විසිනුදු අහක නො දමන්නා වූ පළමු වන දානය ය, මහා දානය ය. මෙය නුවුවමනා වැඩකැ යි දැනුදු බැහැර නො කරනු ලැබේ. මතු බුදුවරයන් විසින් ද බැහැර නො කරනු ලැබේ. ශ්‍රමණයන් විසින් බ්‍රාහ්මණයන් විසින්, නුවණැතියන් විසින් ගර්හා නො කරන ලද්දේය. මහණෙනි, මෙය සතර වැනි වූ පින් ගලන තැන ය. කුශල් ගලන තැන ය. සැප ගෙන දෙන දෙය ය. සුන්දර වූ අග්‍ර සම්පත් ගෙන දෙන ධර්මය ය. සැප විපාක ගෙන දෙන ධර්මය ය. ස්වර්ගය පිණිස පවත්නා ධර්මය ය. එය ඉෂ්ට භාවය පිණිස කාන්ත භාවය පිණිස, මනාප භාවය පිණිස, හිතය පිණිස, සුඛය පිණිස පවති.

(2) මහණෙනි, නැවත ආර්යශ්‍රාවක තෙමේ අදින්නාදානය හැර අදින්නාදානයෙන් වැළකුනේ වේ ද - පෙ –

(3) කාමමිථ්‍යාචාරය හැර කාමමිථ්‍යාචාරයෙන් වැළකුණේ වේ ද - පෙ-

(4) මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකුණේ වේ ද - පෙ

(5) මදයට ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානය හැර සුරාමේරය පානයෙන් වැළකුණේ වේ ද මහණෙනි, මද ප්‍රමාදයන්ට හේතු වන සුරාමේරය පානයෙන් වැළකුණා වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අප්‍රමාණ සත්ත්වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. නිදුක් බව දෙයි. අප්‍රමාණ සත්ත්වයනට අභය දී, අවෛරය දී, නිදුක් බව දී, අප්‍රමාණ වූ අභයයට අවෛරයට දුක් නැති බවට හිමියෙක් වෙයි.

මහණෙනි, මෙය අග්‍රය යි සලකන්නා වූ, පරණය යි සලකනු ලබන්නා වූ, බුද්ධාදීන්ගේ වංශය යි සලකනු ලබන්නා වූ, පෞරාණික වූ බුද්ධාදීන් විසින් බැහැර නො කරන්නා වූ පෙර බුදුවරයන් විසින් බැහැර නො කරන ලද්දා වූ පස්වන දානය ය. මහා දානය ය. මෙය වර්තමානයෙහි බැහැර නො කරනු ලැබේ. අනාගතයේ දී බැහැර නො කරනු ලබන්නේ ය. ශ්‍රමණයන් විසින් ද බ්‍රාහ්මණයන් විසින් ද නුවණැතියන් විසින් ද ගර්හා නො කරන ලද්දක් ය. මහණෙනි, මේ (සුරාපානවිරතිය වූ මහා දානය) අටවන පින් ගලන තැන ය. කුශල් ගලන තැන ය. සැප එළවන දෙය ය. සුන්දර වූ අග්‍ර සම්පත් ලබා දෙන කරුණ ය. සැප විපාක ගෙන දෙන ධර්මය ය. ස්වර්ගය පිණිස පවත්නා ධර්මය ය. මෙය ඉෂ්ට භාවය කාන්ත භාවය මනාප භාවය පිණිස හිතය පිණිස සැපය පිණිස පවති.

මෙම සූත්‍රයෙන් දැක්වෙන්නේ පඤ්චශීලය බුද්ධාදීන් විසින් උසස් කොට සලකනු ලබන මහා දාන පසක් වන බව ය. ප්‍රාණඝාතාදියෙන් වළක්නා තැනැත්තාගේ ඒ ක්‍රියාව සකල සත්ත්වයන්ට අභය දීමකි. අභය දීමය යනු නිදහස දීම ය. අදත්තාදානයෙන් වැළකීම වස්තු හිමියන්ට අභය දීම කි. පරදාර සේවනයෙන් වැළකීම පරදාරාවන්ට හා ඔවුන්ගේ හිමියන්ට අභය දීමකි. බොරු කීමෙන් වැළකීම නො රැවටීම් වශයෙන් අභය දීමකි. සුරාපානය කරන තැනැත්තා බොහෝ දෙනාට කරදර කාරයෙකි. එයින් වැළකීම ඒ කරදරය නො කිරීම් වශයෙන් මහජනයාට නිදහස දීමකි. මෙසේ බලන කල පන්සිල් රකින්නහුට මහා දාන පසක් දෙමිය කියා ද ප්‍රීතිය ලැබිය හැකි ය. මේවා වියදමක් නැති ව මහන්සියක් නැතිව දිය හැකි දානයෝ ය.

ආහාර දානාදියෙන් ලැබෙන්නා වූ ආනිසංසය වුව ද, මැනවින් ලැබෙන්නේ සිල්වතාට ම ය. දුශ්ශීලව සිට දන් දුන්නා වූ තැනැත්තාට ඔහුගේ පව්කම් කලින් විපාක දෙන්නට පටන් ගතහොත් ඒ කාලය තුළ දී ඔහුගේ දානමය කුශලය විපාක දීමට අවකාශයක් නො ලබයි. පරණ වී අවකාශ ලත් විටක විපාක දෙන්නට පටන් ගත්තේ ද, එතැනදී ද අකුශල කර්ම, අතර අතර පැමිණ විපාක දෙන්නට පටන් ගැනීමෙන් දාන විපාකය - දානානිසංසය දුබල කරයි. එයට හානි කරයි.

දානමය කුශලයාගේ විපාකයෙන් මිනිස්ලොව පොහොසත් තැනක ඉපිද ධනය ලැබුවේ ද අතීත අදින්නාදාන කර්මයෙන් ඒ ධනය පිරිහේ. සම්පූර්ණයෙන් ම හෝ විනාශ වේ. අතීත ප්‍රාණඝාත කර්මයෙන් රෝගාදී නොයෙක් දුක් ඇති කරයි. සිල්වත්ව සිට දන් දුන්නා වූ තැනැත්තාට කුශල විපාකයට - කුසලානිසංසයට හානි කරන පව් නැති බැවින් දානමය කුශලයාගේ ඵලය දීප්තිමත් ව ලැබේ.

“ඉධ භික්ඛවේ, එකච්චො දානං දෙති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං මාලාගන්ධ විලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං - පෙ - කායස්ස භෙදා පරම්මරණා ඛත්තිය මහාසාලානං වා බ්‍රාහ්මණ මහාසාලානං වා ගහපති මහාසාලානං වා සහව්‍යතං උපපප්ජති. තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස.”

යනාදීන් තථාගතයන් වහන්සේ විසින් දානානිසංසය සිල්වතාට ම ලැබෙන බවත් දුශ්ශීලයාට නො ලැබෙන බවත් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයෙහි ප්‍රකාශිත ය. බෞද්ධයන්ට දන් දෙන අවස්ථාවල පන්සිල් සමාදන් වීම පුරුදු වී තිබෙන්නේ ඉහත දැක් වූ දේශනාව නිසා ය. දානානිසංසය මැනවින් ලැබිමට සැමකල්හි ම ශිලයෙන් යුක්ත ව පවින් තොර ව විසීම මිස, දන් දෙන වෙලාවේ දී සමාදන් වී පසුව කඩන ක්ෂණිකශිලය පිරිමැසෙන්නේ නො වේ. එබැවින් තමන් කරන පින්කම්වල ඵලය උසස් ලෙස ලබනු කැමැත්තෝ සැම කල්හි ම සිල් රකිත්වා!

සිල් රැකීමේ අනුසස් දැක්වෙන කථා

මරණාසන්නයේදී පන්සිල් සමාදන් වීමෙන් දෙව්ලොව ගිය වෙළෙන්ඳෝ

අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි වෙළෙන්ඳෝ සත්සියදෙනෙක් නැවක නැගී මුහුදෙහි ගියෝ ය. සැඩ සුළඟ නිසා ඔවුන්ගේ නැව ඊයක වේගයෙන් මහ සමුදුර මැදට ගියේ ය. රළ අධික වීම නිසා මුහුද මැද දී නැවට වතුර ඇතුල් වන්නට පටන් ගත. නැවියෝ බිය පත්වී තම තමන් අදහන දෙවිවරුන්ට යදිමින් විලාප කියන්නට හඬන්නට පටන් ගත්හ. එහි සිටි එක් පුරුෂයෙක් මේ මහා භයේ දී මට පිහිටක් ඇද්දෝ යි සිතනුයේ තමා විසින් රක්නා පිරිසිදු සරණ ශීලය දැක නිර්හීතව බද්ධ පර්‍ය්‍යංකයෙන් හුන්නේ ය.

ඔහු එසේ නිර්භීත ව වාඩි වී සිටිනු දුටු සේසෝ මේ මහා භය ඔබට නැත්තේ කවර හේතුවකින් දැයි ඇසූහ. මම නැව් නගිනා දිනයෙහි සංඝයාට දන් දී සරණ ශීලය සමාදන් වී ආවෙමි. එබැවින් මට භයක් නැතය යි හේ කීය. එකල්හි මිනිස්සු “හිමියනි, ඔබට පිහිට වන ඒ සරණ ශීලය අපටත් නො වටනේ දැ” යි ඇසූහ. හේ “සැම දෙනාට ම එය වටනේ ය” යි කීහ. එකල්හි සෙස්සො එසේ නම් ඒ සරණ ශීලය අපටත් දුන මැනවයි කීහ. හෙතෙමේ වෙළෙඳුන් සත් සියය සත් කොටසකට බෙදා වරකට සිය සිය දෙනාට තිසරණ සහිත පඤ්ච ශීලය දිණ.

ඔවුන්ගෙන් පළමු වන සිය දෙනා ඇස්වටය තෙක් වතුරේ සිට සිල් සමාදන් වූහ. දෙවන සිය දෙනා දණ පමණට වතුරේ සිට සිල් සමාදන් වූහ. තුන්වන සිය දෙනා තුනටිය පමණට වතුරේ සිට සිල් සමාදන් වූහ. සතරවන සිය දෙනා පෙකණිය පමණට ජලයෙහි සිට ද, පස්වන සිය දෙනා තන පමණට දියෙහි සිට ද, සවන සිය දෙනා ගෙළ පමණට වතුරේ සිට ද, සත්වන සිය දෙනා කටට එන නො එන තරම් දියෙහි සිට ද, සිල් සමාදන් වූහ.

මෙසේ හේ සැම දෙනාට ම තිසරණ පන්සිල් සමාදන් කරවා නුඹලාට අන් පිහිටක් නැත. ශීලය ම පිහිට ය. එය ම මෙනෙහි කරව යි ඝෝෂා කෙළේ ය. ඒ වෙළඳුන් සත්සිය දෙනා ම දියේ ගිලී මැරී මරණාසන්නයේ දී ගත් ශීලයේ අනුහසින් තව්තිසා දෙව් ලොව උපන්හ. ඔවුන් සැම දෙනාගේ ම විමාන එක් තැනක ම පහළ විය. ගුරුවරයාට සියක් යොදුන් රන් විමනක් හා සෙස්සන්ට එය වටා පසු පසු සිල් සමාදන් වූවන්ට ක්‍රමයෙන් මිටි මිටි වූ විමානයොත් පහළ වූහ. සැමට ම පසු සිල් ගත් සියයට පහළ වූ විමානයෝ දොළොස් යොදුන් පමණ වූහ.

ඒ දෙවියෝ උපන් කෙණෙහි තමන් කළ කුශලයන් ප්‍රත්‍යවේක්ෂා කරන්නාහු පන්සිල් දුන් ආචාර්‍ය්‍යවරයා නිසා ඒ සම්පත් ලද බව දැන, තමන් ගේ ආචාර්‍ය්‍යවරයා ගේ ගුණය සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට සැළ කරනු පිණිස රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි බුදුන් වහන්සේ වෙත පැමිණ, එයින් සදෙනෙක් ආචාර්‍ය්‍යවරයා ගේ ගුණ පැවසීම් වශයෙන් බුදුන් වහන්සේ හමුවෙහි ගාථාව බැගින් කීහ. ඒ ගාථා මෙසේ ය.

(1) “සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය සෙ‍ය්‍යො හොති න පාපියො

-

(2) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය පඤ්ඤා ලබ්භති නාඤ්ඤතො
-

(3) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බේත සන්ථවං
සතං සද්ධම්ම මඤ්ඤාය සොක මජ්ඣෙ න සොචති
-

(4) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය ඤාති මජ්ඣෙ විරොචති
-

(5) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා ගච්ඡන්ති සුග්ගතිං
-

(6) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා තිට්ඨන්ති සාතතං

ගාථාවල තේරුම මෙසේ ය -

(1) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. බුද්ධාදී සත්පුරුෂයන් ගේ පඤ්චශීල දශශීලාදි සද්ධර්මය දැන ගැනීමෙන් දියුණුවක් වෙයි. පිරිහීමක් නො වෙයි.

(2) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් කරව්. බුද්ධාදී සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන ගැනීමෙන් ප්‍රඥාව ලැබේ. වැලි ආදියෙන් තෙල් ආදිය නො ලැබෙන්නාක් මෙන් අනිකකින් ප්‍රඥාව නො ලැබේ.

(3) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. බුද්ධාදී සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන ගැනීමෙන් ශෝක මධ්‍යයේ ශෝක නොකරයි.

(4) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන ගැනීමෙන් නෑයන් මැද බබළයි.

(5) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන සත්ත්වයෝ සුගතියට යෙති.

(6) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැනීමෙන් සුවය චිර කාලයක් පවති.

තථාගතයන් වහන්සේ ඒ සැම දෙනාගේ ම ගාථා අසා සිට සැමදෙනා ගේ ම කීම් යහපත් බව වදාරා, අපෙන් ද ගාථාවක් අසව් යැයි වදාරා මෙසේ වදාළ සේක.

“සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං
සතං සද්ධම්මමඤ්ඤාය සබ්බදුක්ඛා පමුච්චති”

සත්පුරුෂයන් සමඟ ම එක්වව්. සත්පුරුෂයන් හා මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන සකල දුඃඛයෙන් මිදේ ය, යනු එහි තේරු ම යි. දේවතාවෝ සතුටුව, තථාගතයන් වහන්සේට වැඳ පැදකුණු කොට අතුරුදන් වූහ.

(මේ කථාව දේවතා සංයුක්තයේ ය)

සොරුන් පන්සිය දෙනාගේ කථාව

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සස්න පවත්නා කාලයේ දී ගම් වැසියන් විසින් ලුහුබඳිනා ලද සොරුන් පන්සිය දෙනෙක් පලා යන්නාහු, සැඟවීමට තැනක් හෝ අන් පිහිටක් හෝ නො ලැබ, වනයෙහි ගල් තලාවක් මත වැඩහුන් එක්තරා ආරණ්‍යක භික්ෂූන් වහන්සේ නමක් දැක, උන්වහන්සේ වෙත එළඹ වැඳ වැටී, “ස්වාමීනි, අපට පිහිට වන සේක්වා"යි කීහ. තෙරුන් වහන්සේ කියන සේක් “නුඹලාට ශීලයට වඩා පිහිට වන දෙයක් නැත. ඒ නිසා සෑම දෙනා ම පන්සිල් ගනිත්වා"යි කීය. තෙරුන් වහන්සේ ගේ වචනය පිළිගෙන සෑම දෙනා ම උන්වහන්සේ ගෙන් පන්සිල් සමාදන් වූහ.

ඉක්බිති තෙරුන් වහන්සේ ඒ සොරුන්ට අවවාද කරන සේක් “පින්වත්නි, දැන් තෙපි සිල්වත්හු ය, තෙපි මේ ශීලය ජීවිතය සේ උතුම් කොට රක්ෂා කරවු. මෙතැන් පටන් තෙපි තමන්ගේ ජීවිතය නසන්නට තැත් කරන්නවුන්ටවත් ද්වේෂ නො කරව්” යයි කී සේක. ඔවුහු “එසේ ය” කියා තෙරුන් වහන්සේ ගේ අනුශාසනය පිළිගත්හ. ඔවුන් සොයා ආ ජනපද වැසියෝ සැණෙකින් ම එහි පැමිණ සොරුන් සෑම දෙනා ම මරා දැමූ හ.

මරණාසන්නයේ පන්සිල් ගත් පිනෙන් ඒ සෑම දෙනා ම කාමාවචර දෙවියන් කෙරෙහි උපන්නෝ ය. දෙව්ලොව ද සොරදෙටුවා ඔවුන්ගේ දෙටුවා විය. සෙස්සෝ ඔහු ගේ පිරිවර වූහ. ඔවුහු අප බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වා දිව්‍යලෝකයෙන් දිව්‍ය ලෝකයට ඉපදීම් වශයෙන් දෙව්ලොව ම බුද්ධාන්තරයක් වූ අති දීර්ඝ කාලය ගෙවා අප බුදුන් වහන්සේගේ කාලයෙහි මිනිස් ලොව කෙවුල් ගමක ඉපද කපිල සූත්‍ර ධර්මය අසා පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් දුටහ.

(මේ කථාව සුත්ත නිපාත අටුවාවෙහි ආයේ ය)

එක් පොහොයක සිල්සමාදන් වූ උත්තමා ස්ථිවිරියගේ කථාව

විපස්සී බුදුන් වහන්සේගේ කාලයෙහි බන්ධුමතී නගරයෙහි රජතුමා පොහොයක් පාසා ම සිල් සමාදන් වෙමින් වෙහෙරට ගොස් දන් දෙමින් බණ අසමින් කල් යවයි. රජු එසේ පිළිපදිනු දැක මහජනයා ද රජු අනුව පෙහෙවස් වෙසෙන්නටත් දන් දෙන්නටත්, බණ අසන්නටත් පටන් ගත්හ. ඒ කාලයේ ඒ නුවර ගෙයක එක් දාසියක් රජු ගේ හා මහජනයා ගේ ඒ ව්‍යාපාරය දැක සිතන්නී “මෙතෙක් සම්පත් ඇති මේ රජතුමා ඒ සැප සම්පත් හැර සිල් සමාදන් වන්නට යන්නේත්, මහජනයා මේ තරම් ප්‍රීතියකින් සිල් සමාදන් වන්නේත් නිකම් නොවේ ය. මෙය එසේ මෙසේ සුළු දෙයක් නො වේ ය. මෙය ඉතා සඵල දෙයක් විය යුතු ය. මා විසිනුත් කවර ආකාරයකින් හෝ අවසරයක් ලබා සිල් සමාදන් විය යුතු ය"යි සිතා, ස්වාමියාගෙන් අවසර ගෙන එක් පොහෝ දිනයක සිල් සමාදන් ව ඉතා ආදරයෙන් ඒ ශීලය ආරක්ෂා කළා ය.

ඕ තොමෝ ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව උපන්නාය. එතැන් පටන් අප බුදුරජාණන් වහන්සේ ගේ කාලය දක්වා දෙවි මිනිස් දෙ ලොව නැවත නැවත උපදිමින් බොහෝ දෙව් මිනිස් සැප සම්පත් ලබා අන්තිම වරට සැවැත් නුවර සිටු ගෙයක ඉපද සත් හැවිරිදි වයසේ දී ම පටාචාරා ස්ථවිරියගෙන් දහම් අසා බුදු සස්නෙහි පැවිදිව අඩමසක් ගත වන්නට ද කලින් සව් කෙලෙසුන් නසා සිව් පිළිසිඹියා සහිතව රහත් ව නිවන් දුටුවා ය.

මේ ථෙරි ගාථා අටුවාවෙහි එන උත්තමා ස්ථවිරිය ගේ චරිතය ය. මඳ කලක් රැකි ශීලයෙහි මෙතෙක් අනුසස් ඇති කල්හි දශ ශීල, සාමණේර ශීල, උපසම්පදා ශීලයන් බොහෝ කල් රැකීමෙන් වන ඵල කෙසේ කියා නිම කළ හැකි ද? නො හැකි ම ය.

3. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව

ආදීනව දැකීම් වශයෙන්, කාමයන් කෙරෙන් හා භවයන් කෙරෙන් නික්මීම් වශයෙන් උපදනා වූ සම්බෝධියට නැමුණු - බරවුණු අලෝභ ප්‍රධාන කුශල චිත්තය නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ය. මෙහි නික්මීම ය යනු ඇල්ම ගරු කොට බැහැර කිරීමය. තමා හෝ කාමයන් ගෙන් හා භවයන් ගෙන් ඈත් වීම ය. ආලය අත හැරීම් මාත්‍රය ම කාමයන් බැහැර කිරීම ද වේ. කාමයන්ගෙන් බැහැර වීම ද වේ. චරියා පිටක අටුවාවෙහි මහාබෝධි පාරමිතා ව පමණක් දැක්වීම් වශයෙන්,

“කරුණුපාය කොසල්ල පරිග්ගහිතො ආදීනව දස්සන පුබ්බංගමො කාමභවෙහි නික්ඛමණ චිත්තුප්පාදො නෙක්ඛම්ම පාරමිතා.”

යනු කීහ. කරුණාවෙන් හා උපා දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද - ආරක්ෂා කරන ලද ආදීනවය දැකීම් පෙරටු කොට ඇත්තා වූ කාමයන් කෙරෙන් හා භවයෙන් නික්මෙන්නා වූ චිත්තෝත්පාදය නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ය යනු එහි තේරුම යි.

වස්තුකාමය ක්ලේශකාමය යි කාම දෙකකි. රූප කාමය ය, සද්දකාමය ය, ගන්ධකාමය ය, රසකාමය ය, පොට්ඨබ්බකාමය ය, ධම්මකාමය යයි වස්තුකාම සයකි. එයින් රූප කාමය යනු ලෝකයා විසින් හොඳ යයි සලකනු ලබන, පෙනෙන කල්හි සිත් නෙත් පිනා යන බලන්නහුට ආස්වාදයක් ඇති වන ඇසට පෙනෙන පණ ඇති නැති සියල්ල ය.

සද්දකාමය යනු ඇසෙන කල්හි කනට මිහිරි, සිතට මිහිරි ඇසීමෙන් ආස්වාදයක් ලැබෙන, ලෝභය ඇති වන ශබ්දයෝ ය. ගන්ධකාමය යනු හොඳය යි සලකන නාසයට මිහිරි සිතට පිරිය ආඝ්‍රාණයෙන් ආස්වාදයක් ලැබෙන ලෝභයට හේතුවන සුගන්ධයෝ ය. රසකාමය යනු දිවට මිහිරි සිතට පිරිය ආස්වාදනීය රසයෝ ය. ඵොට්ඨබ්බකාමය යනු ශරීරයෙහි සැපෙන ගෑවෙන ඇතිල්ලෙන කල්හි සුවය ඇති වන පණ ඇති නැති වස්තූහු ය. ශරීරයට වඩා සුවය ඇති වන්නේ පණ ඇති වස්තු ගෑවෙන සැපෙන ඇතිල්ලෙන කල්හි ය. ඒ නිසා මනුෂ්‍යයෝ අනිකක් නො ලබන කල්හි තමා ගේ අත මත හිස තබා නිදති. තදින් ලෝභය ඇති වන්නේ පණ ඇති වස්තුවල ස්පර්ශයට ය.

ධම්මකාමය යනු රූපකාමාදි පසෙන් අන්‍ය වූ ලෝභය ඇති වන සියල්ල ය. කරුණාව - මෛත්‍රිය - ආලය - ඥානය - වීර්‍ය්‍යය - සිහිය යනාදිය ධම්ම කාමයෝ ය. පින් ද ධම්ම කාමයට ම අයත් වේ. තවත් ක්‍රමයකින් කියන හොත් මනුෂ්‍යාදීන් විසින් හොඳය කියා උසස්ය කියා සලකනු ලබන ආහාර - පාන - වස්ත්‍ර - ආභරණ - ගෘහ - යාන - වාහන - කෙත් - වතු - ඇඳ - පුටු - මේස - භාජන - රන් - රිදී - මුතු - මැණික් - මුදල් ආදිය ය. ගවාදි ප්‍රයෝජනවත් සත්ත්වයෝ ය. අඹුදරු නෑ මිතුරෝ යන මේ සියල්ල වස්තු කාමය ය. ක්ලේශ කාමය යනු වස්තු කාමය පිළිබඳව ඇති වන ලෝභය ය, කාම භවය ය, රූප භවය ය, අරූප භවය යයි භව තුනෙකි.

නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය

සත්ත්වයා යම්තාක් කාමයන්හි හා භවයෙහි ඇලී වෙසේ ද එතෙක් හේ දුකෙහි ය. ඔහුට දුකින් මිදිය හැකි වන්නේ ඒ ලෝභය නැති කිරීමෙනි. ආර්‍ය්‍ය සත්‍යයන් නො දක්නා වූ සත්ත්වයාට ඉතා ම හොඳ දෙය සැටියට ද ඉතා ම උසස් දෙය සැටියට ද, තමාට ඇත්තා වූ උසස් පිහිට සැටියට ද පෙනෙන්නේ කාම භවය ය. එබැවින් කාම තෘෂ්ණාව සත්ත්වයන් කෙරෙහි අනාදිමත් කාලයක පටන් වැඩී මුල් බැස තහවුරු වී තිබේ. යම්කිසි හේතුවකින් තමා ඇලුම් කරන කාමයන් හා භවය නැති වන්නට එන සේ පෙනෙනවා නම් සත්ත්වයාට එයට වඩා නපුරක් භයක් නැත. තණ්හාව කොතරම් දුකට හේතුවක් වුවත් කාම භවයන් අතහැරීමට සත්ත්වයා කැමති නැත. එබැවින් ආර්‍ය්‍ය තත්ත්වයන් නො දක්නා සත්ත්වයාට ඒවා අතහැරීම ඉතා දුෂ්කර ය.

තරමක් දුරටවත් එය කළ හැකි වීමට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය උගෙන ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ය. ප්‍රත්‍යවේක්ෂා කිරීමය ය යනු සිතීමය. කාමයන්හි ආස්වාදාදීනව දෙක ම ඇත්තේය. කාමයන් ගේ ආස්වාදය නම් ඒවා නිසා ඒ ඒ වේලාවෙහි ලැබෙන ක්ෂණික සුවය හා ප්‍රීතිය ය. ආදීනවය නම් ඒවා නිසා ඇති වන දුක හා දොම්නස ය. කාමයන් හැර දැමිය නො හෙන්නේ ද, කාමාසාව දුරු කළ නො හෙන්නේ ද සත්ත්වයන් විසින් ඒවායේ ආදීනව පක්ෂය නො සිතා ආස්වාද පක්ෂය ගැන ම සිතන බැවිනි. කාමයන්හි ආස්වාදාදීනව දෙක ම ඇතත් සත්ත්වයනට වඩා පෙනෙන්නේ ඔවුන් පතන සොයන ආස්වාද පක්ෂය පමණෙකි. මහත්ව ඇත්තා වූ කාමාදීනවය ඔවුහු නො දකිති.

විෂ මිශ්‍ර කේක් කැබෙල්ලෙහි මෙන් කාමයන්හි ද නපුර ඇත්තේ නො පෙනෙන ලෙස ය. මතු වී ඇත්තේ මිහිර ය. එද සත්ත්වයනට කාමාදීනවය නො දැකිය හැකි වීමේ එක් හේතුවකි. තථාගතයන් වහන්සේ ගේ ධර්මය ඇසුරු කිරීමෙන් කාමයන්හි යට වී ඇති මහාදීනවය දැකිය හැකි ය. කාමාදීනවයන් මතු කොට පෙන්වන ධර්ම, පිටකත්‍රයේ බොහෝ තැන්වල ඇත්තේ ය. ඒවාට අනුව කාමයන් ගේ හා භවයේ ආදීනවය මෙතැන් පටන් දක්වනු ලැබේ. තෘෂ්ණාව දුරු කර ගත හැකි වීමට ඒවා මතක තබා ගෙන නැවත නැවත සිතනු. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිළිබඳ වූ ප්‍රත්‍යවේක්ෂාව එය ය.

බඩසයින් පෙළෙන බල්ලකුට ලේ - මස් නැති වියළි ඇට කැබෙල්ලක් දුනහොත් එය සපා ඌ වෙහෙසට පත්වනු මිස, දත් කඩාගෙන කට තුවාල කරගෙන දුකට පත්වනු මිස, උගේ සාගින්න නො නිවෙන්නේ ය. එමෙන් සත්ත්වයන් විසින් කොතෙක් කාම වස්තූන් රැස් කර ගත්තේ ද, කොතෙක් කාම වස්තූන් පරිභෝග කළේ ද, ඒවායින් වෙහෙසටත්, දුකටත් පත්වනු මිස පුද්ගලයා ගේ කාම තෘෂ්ණාව නො සන්සිඳෙන්නේ ය. එබැවින් කාමයෝ ලේ මස් නැති වියළි ඇට කැබැල්ලක් වැනියහ.

ගිජුලිහිණියකු හෝ කපුටකු හෝ උකුස්සකු හෝ මස් කැටියක් ගෙන පියාසර කරත හොත් සෙසු ගිජුලිහිණීහු ද, කපුටෝ ද, උකුස්සෝ ද එය උදුරා ගනු පිණිස ලුහුබැඳ කොටන්නාහ. මස් කැටිය ගත් එකා එය නො හළහොත් මරණයට හෝ පැමිණෙන්නේ ය. මැරෙන තරමේ දුකට හෝ පත් වන්නේ ය. එමෙන් බොහෝ දෙනා බලාපොරොත්තු වන, බොහෝ දෙනා ඇලුම් කරන කාම වස්තූන් යම් කිසිවෙක් රැස් කරගෙන සිටී නම් ඒවා උදුරා ගැනීමට මරා හෝ පැහැර ගැනීමට දහසක් දෙනා බලා සිටින්නාහ. එබැවින් කාම වස්තූහු ලිහිණියකු ගෙන යන මස් කැටියක් බඳුය හ.

එක් කොනක් ගිනි ඇවිලෙන තණසුල යමෙක් ගෙන නො හැර සිටිය හොත් ඔහු ගේ අත ගින්නෙන් දැවෙන්නාක් මෙන් කාම වස්තූන් අයත් කර ගෙන ඒවා නො හැර සිටින තැනැත්තා කාම වස්තූන් නිසා දුකට පත් වන්නේ ය. එබැවින් කාමවස්තුහු තණසුලක් වැනිය හ.

මිනිසකු ගිනි අඟුරු වළකට ඇද දැමුව හොත් මහ දුකට පත් වන්නාක් මෙන් කාම වස්තූන් අයත් කර ගෙන එහි ඇලී ගැලී සිටින තැනැත්තාට ඒවා නිසා මහදුක් පැමිණෙන්නේ ය. එබැවින් කාම වස්තූහු ගිනි අඟුරු වලවල් බඳුය හ.

රාත්‍රියෙහි ලස්සන ගෙවල් උයන් ආදිය සිහිනයෙන් දුටු තැනැත්තා අවදි වී බලන කල්හි ඒ සිහිනයෙන් දුටු කිසිවක් නො දක්නේ ය. එමෙන් බොහෝ කාම වස්තූන් රැස් කර ගෙන සිටින තැනැත්තා ඒවා නැතිවීමෙන් හෝ මිය පරලොව යෑමෙන් හෝ පසු, ඒ කාම වස්තූන්ගෙන් කිසිවක් නො දක්නේය. කිසිවක් ඔහුට නැත්තේ ය. කාම වස්තූන් නිසා ලබන්නා වූ සුවය ද එකෙණෙහි ම මිස පසුව නැත්තේ ය. එබැවින් කාම වස්තූහු හා කාම සුවය සිහිනයක් බඳු ය.

වටිනා රථයක් හා ඇඳුම් කට්ටලයක් අනුන්ගෙන් ඉල්ලා ගෙන ගමනක් ගියා වූ තැනැත්තාට ඒවා පරිභෝග කරන්නට ලැබෙන්නේ ඒ දවසේ පමණකි. පසුව ඒවා හිමියන්ට බාර දෙන්නට සිදු වේ. එමෙන් කාම වස්තූන් අයත් කර ගෙන සිටින්නාට පරිභෝග කරන්නටත් ලැබෙන්නේ මඳ කලකි. එබැවින් කාම වස්තූහු අනුන්ගෙන් මඳ කලකට ඉල්ලා ගත් වස්තු වැනිය හ.

මහ වන මැද හිමියකු නැති පලින් බර වූ ගසෙකි. පුරුෂයෙක් එය දැක එයට නැග ගෙඩි කන්නට පටන් ගත්තේ ය. පොරවක් ගෙන වනයෙහි හැසිරෙන මිනිසෙක් ද ඒ ගස දුටුවේ ය. හේ “මම ගස් යන්නට නො දනිමි. මේ ගස කපා බිම හෙලා ගෙඩි කමි” යි ගස කපන්නට පටන් ගත්තේ ය. එසේ කරන කල්හි ගසේ සිටින පුරුෂයා ගෙඩි වලට ලෝභයෙන් එහි ම සිටිය හොත් මරණයට හෝ පැමිණෙන්නේ ය. මැරෙන තරමේ දුකට හෝ පැමිණෙන්නේ ය. එමෙන් කාමයන් නො හැර අල්ලා ගෙන, අයත් කර ගෙන සිටියහොත් එයින් මහ දුකට පත් වන්නේ ය. එබැවින් කාමයෝ ගෙඩි ඇති ගසක් වැනිය හ.

කාමයන් අයත් කර ගෙන සිටින තැනැත්තා ද, සොයන තැනැත්තා ද යන දෙදෙනා ම නොයෙක් විට නොයෙක් වධ බන්ධනවලට අසුව දුකට පත් වෙති. අයත් කර ගෙන සිටින තැනැත්තා හා සොයන තැනැත්තා ඒ නිසා නොයෙක් විට ගැහුම් - බැණුම් - කැපුම් - කෙටුම්වලට හසුවන බැවින් කාම වස්තූහු මස් කපන කොටයක් හා කඩුවක් වැනියහ.

කාමයන් සොයන තැනැත්තා හා අයත් කරගෙන සිටින තැනැත්තා ඒ නිසා නොයෙක් විට පහර ලබන බැවින් කාමයෝ උල්පිහියා වැනිය හ.

දෂ්ට කරන ලද තැනැත්තා මරණයට හෝ මැරෙන තරමේ දුකට හෝ පත් වන බැවින් නයි ඔලුව භායානක දෙයකි. අයත් කර ගෙන සිටින තැතැත්තාට භය පැමිණෙන බැවින් කාම වස්තූහු නයි ඔලුවක් වැනියහ. නයි ඔලුව අතින් ගත හොත් නයා ඇඟ වෙළෙන්නේ ය. හළොත් සපන්නේ ය. එමෙන් ස්ත්‍රී ආදී ඇතැම් කාම වස්තුවක් ගත් කල්හි හැර යන්නට නො දී ගත් තැනැත්තා අල්ලා ගන්නේ ය. අමාරුවෙන්වත් හළ හොත් නපුරක් කරන්නේ ය. එබැවින් කාම වස්තූහු නයි ඔලුව වැනිය හ.

කාමාශාව ඇතියහුට කාම වස්තු නැති බව ද මහ දුකෙකි. සෙවීම ද දුකෙකි. ලැබූ පසු ආරක්‍ෂා කිරීම ද දුකෙකි. ලැබූ වස්තූන් දිරායාම, පරණ වී යාම, නැති වීම, සොරු ගැනීම, පරිභෝගයෙන් විනාශ වී යාම යන මේ සියල්ල ම දුක් ය. මුල මැද අග යන හැම තැනදී ම ඒවාට ඇලුම් කරන පුද්ගලයා දවන බැවින් තවන බැවින් කාමයෝ ගිනි කඳක් වැනිය හ.

මෙතෙකින් දක්වන ලදුයේ කාමයන් ගේ ආදීනවය බැලිය යුතු වූ එක්තරා ක්‍රමයෙකි. තවත් ක්‍රමයක් මෙසේ ය:

කාමයන් උවමනා තැනැත්තා හට ඒවා සෙවිය හැකිවීම පිණිස, සෙවීමේ සමත්කම ලැබීම පිණිස, වර්ෂ බොහෝ ගණනක් යම් කිසි ශිල්පයක් හෝ ශාස්ත්‍රයක් උගෙනීමට දුක් විඳින්නට සිදු වේ. දුක්විඳ උගෙන රස්සාවට පටන් ගත් කල්හි අව්වෙන් වේළෙන්ට ද, නොයෙක් විට වැස්සට තෙමෙන්නට ද, පින්නට සුළඟට අසුවන්නට ද, සා ගින්නෙන් පිපාසයෙන් සිටින්නට ද, මැස්සන් ගෙන් මදුරුවන්ගෙන් පීඩා විඳින්නට ද අන් ස්වාමියකු යටතේ වැඩ කරනවා නම් ස්වාමියාගේ ඇනුම් - බැනුම් - ගැරහුම් ඇසීමට ද, සතුරන් ගෙන් නොයෙක් කරදර ලැබීමට ද සිදු වේ. මේ කාමයන් නිසා ඇති වන එක් දුඃඛස්කන්ධයෙකි.

කාම වස්තූන් ලබනු පිණිස එසේ දුක් ගෙන වැඩ කරන්නා වූ තැනැත්තා හට සමහර විට ඒ උත්සාහයෙන් මහන්සියෙන් - ඩහදියෙන් බලාපොරොත්තු වන දෙය ලැබෙන්නේ ය. සමහර විට මහන්සි වී ද බලාපොරොත්තුව ඉටු නො වී මහන්සිය ව්‍යර්ථ වේ. එසේ මහන්සිය ව්‍යර්ථ වූ විට මහන්සි වූ තැනැත්තාට මාගේ මහන්සිය නිෂ්ඵල වී යයි මහත් දොම්නසක් ඇති වේ. එය ද කාමයන්ගේ එක් ආදීනවයෙකි. කාමයන් නිසා වර්තමාන ජාතියේ දී ම ලබන්නට වන දුඃඛස්කන්ධයෙකි.

වස්තු සෙවීම සඳහා දුක් ගත් විට බලාපොරොත්තුව පරිදි වස්තුව ලැබුණේ වේ නම් ඒ වස්තුව රජුන්ගෙන් - සොරුන්ගෙන් - සතුරන්ගෙන් - ගින්නෙන් - දියෙන් - අප්‍රිය උරුමක්කාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා බොහෝ දුක් විඳින්නට සිදු වේ. ඔහුට නිතර ම සැකයෙන් බයෙන් සිටින්නට සිදු වේ. එසේ දුකින් ආරක්ෂා කෙළේද සමහර විට ඒවායින් බලාපොරොත්තු වන දෙය සිදුකර ගන්නට කලින් ඒ වස්තුව රාජ චෝරාදීන් නිසා නැති වන්නේ ය. එසේ වුවහොත් වස්තුව සැපයූ තැනැත්තාට එයින් අති මහත් දොම්නස් ඇති වේ. හඬන්නට සිදු වේ. මෙය ද කාමයන් ගේ එක් ආදීනවයකි. කාමයන් නිසා මේ ලොව ම ලබන දුඃඛස්කන්ධයෙකි.

තවද කාම වස්තු නිසා රජවරු රජවරුන් හා යුද කර ගන්නාහ. රට වැසියෝ රට වැසියන් හා කලහ කරන්නාහ. පුතා ද මව හා කෝලාහල කරන්නේ ය. මව පුතා හා කෝලාහල කරන්නේ ය. පියා ද පුතා හා කලහ කරයි. පුතා ද පියා හා කලහ කරයි. සහෝදරයෝ සහෝදරයන් හා කලහ කරති. සහෝදරියෝ සහෝදරියන් හා කලහ කරති. බිරියෝ සැමියන් හා කලහ කරති. සැමියෝ බිරියන් හා කලහ කරෙති. යහළුවෝ යහළුවන් හා කලහ කෙරති. පැවිද්දෝ පැවිද්දන් හා කලහ කෙරෙති. ගුරුවරු ගෝලයන් හා කලහ කෙරෙති.

කලහ කරන්නා වූ ඔවුහු අතින් ද ඔවුනොවුන්ට පහර දෙති. ගල් මුල්වලින් ද පහර දෙති. කඩු කිනිසි ආදියෙන් පහර දෙති. ඒවායින් ඇතැමෙක් මරණයට පැමිණෙති. ඇතැමෙක් මැරෙන තරමේ දුකට පත් වෙති. ඇතැමෙක් සිරේ යති. ඇතැමෙක් එල්ලුම් ගස් යති. මෙය ද කාමයන්ගේ එක් මහා ආදීනවයෙකි. කාමයන් නිසා මෙලොවදී ම හමුවන මහා දුඃඛස්කන්ධයෙකි.

තව ද මනුෂ්‍යයෝ කාමයන් නිසා ම යුද හමුදාවලට බැදී අත් තුවක්කුවලින් වෙඩි තබන, මැෂින් තුවක්කුවලින් වෙඩි තබන, හෙන ගසන්නාක් මෙන් හඬ නගන කාලතුවක්කු වලින් අතරක් නැතිව වෙඩි තබන අහසේ සිට මාරක බෝම්බ හෙළන විෂ වායු පතුරුවන, ගිනි අවුලු වන, යුද බිම්වලට වැද යුද කෙරෙති. එයින් ඇතැමෙක් මරණයට පැමිණෙති. ඇතැමෙක් මැරෙන තරමේ දුකට පත් වෙති. යුද බිම් වලට ගිය ඇතැමෙක් වෙහෙසට පත් වීමෙන් ම රෝගාතුර වී මිය යති. ඇතැමෙක් පහර ලැබ අත් පා සුන් වී ජීවිතයෙන් වැඩක් ගත නො හෙන තැනට පැමිණෙති. මෙය ද කාමයන් ගේ මහා ආදීනවයෙකි. කාමයන් නිසා මෙ ලොව දී ම හමුවන මහා දුඃඛස්කන්ධයෙකි.

තව ද කාමයන් නිසා ඇතැම්හු සොරකම් කරති. මං පැහැරීම් කෙරෙති. වඤ්චා කෙරෙති. පරදාරාවන් කරා යෙති. ඒවා කොට හසු වී මොහු සොරක, තක්කඩික කියා ගිය ගිය තැන නින්දා ලබති. යන යන තැන්වලින් සොරාය සොරාය කියා පලවා හරිනු ලබති. අල්ලා බඳිනු ලබති. තළනු ලබති. සිරගෙවලට දමනු ලබති. මෙය ද කාමයන්ගේ එක් ආදීනවයෙකි. මෙලොව ම හමුවන මහා දුඃඛස්කන්ධයෙකි.

තවද මනුෂ්‍යයෝ කාමයන් නිසා නොයෙක් පව් කම් කොට මරණින් මතු යමපලුන් විසින්, බුර බුරා ගිනි දැල් නගින, ගිනියම් වූ පොළොවෙහි නිරිසතුන් පෙරලා දමා හඬව හඬවා ඔවුන්ගේ සිරුර ලී ඉරන්නාක් මෙන් කියත්වලින් ඉරමින්, හරස් කියත් වලින් කඩ කඩ කොට කපමින් සසිමින්, ලෝදිය පොවමින්, ලොහොගුලි ගිල්වමින් නිරිසතුන්ට වද දෙන මහා නරකවල ඉපදෙති. සාගින්න නිවෙන පමණට ආහාරයක්, පිපාසාව සන්සිඳෙන තරමට වතුර ටිකක් කවදාවත් නො ලබන, හඳින්නට වතක්, සිටින්නට තැනක් නො ලබන, නිතර දුකින් පෙළෙන, ප්‍රේත යෝනිවල උපදිති. ඔවුනොවුන් කා දමනු ලබන, කිසිවකුගෙන් පිහිටක් නැති නිතර ම බියෙන් සිටින තිරිසන් බවට ද පැමිණෙති. මෙය ද කාමයන්ගේ මහා ආදීනවයෙකි. කාමයන් නිසා වන මහා දුඃඛස්කන්ධයෙකි.

වඩා උස් නො වූ, වඩා මිටි නො වූ, වඩා තර නො වූ, වඩා සිහින් නො වූ, වඩා කළු නො වූ, වඩා සුදු නො වූ, මෘදු වූ, ශෝභන වූ ශරීරයක් ඇති, සොළොස් අවුරුදු වයසෙහි සිටින්නා වූ කාන්තාව පරම සුන්දර කාම වස්තුවෙකි. කලක දී ඕ තොමෝ පැසුණු හිසකේ ඇතිව, නහර ඉල්පුණු, ඇට මතු වුණු, සම රැලි ගැසුණු, කුදු ගැසුණු, දත් කඩතොළු වුණු, කබ පෙරන ඇස් ඇති, අප්‍රිය දර්ශන ඇති, තැනැත්තියක්ව සිටිනු දක්නා ලැබේ. මෙය කාමයන් ගේ එක් ආදීනවයෙකි.

බොහෝ දෙනා විසින් දක්නට කැමති වන, කථා කරන්නට කැමති වන, වැළඳ ගන්නට කැමති වන මැණිකක් සේ මලක් සේ සලකන, ඒ කාන්තාව කලක දී රෝගාතුර වී යහනින් නැගිට ගත නොහී අනුන් විසින් කවනු ලබන, පොවනු ලබන තත්ත්වයට පැමිණ, මල මුත්‍ර තැවරුණු වස්ත්‍ර හා ශරීර ඇතිව, දුඟද හමන, කෙනකුට ළං විය නොහෙන තත්ත්වයට පැමිණ නිදනු දක්නා ලැබේ. මෙය ද කාමයන්ගේ එක් ආදීනවයෙකි.

තව කලකදී බොහෝ දෙනා විසින් ලස්සන ය, මොළොක් ය, මට සිලුටුය, බොහොම හොඳ කාන්තාවක කියා අයිති කර ගන්නට, පොර කෑ බලන්නට අත පත ගාන්නට වැළඳ ගන්නට සිඹින්නට සිතූ, ඒ කාන්තාව මැරී ඉදිමී නිල් වී ද්වාර වලින් අසූචි වෑස්සෙමින් දුගඳ හමමින් කෙනකුට ළං විය නො හෙන තත්ත්වයට පැමිණ සිටිනු දක්නා ලැබේ. එද කාමයන් ගේ එක් ආදීනවයෙකි.

ඉන්පසු ඒ ලස්සන කතගේ සිරුර ගෙයක තිබිය දී ඒ ගෙයි මිනිසුන්ට විසිය නො හෙන බැවින් හැර ගෙන ගොස් පොළොවට යට කර දමනු දක්නා ලැබේ. එද කාමයන් ගේ එක් ආදීනවයෙකි.

කාමයන්ගේ ආදීනව ඉතා බොහෝ ය. දක්වන ලදුයේ බිඳකි. කියන ලද පරිදි කාමයන් ගේ ආදීනවය මෙනෙහි කිරීමෙන් නෛෂ්ක්‍රම්‍යට සිත නැමේ. “සම්බාධො ඝරාවාසො ජරාපථො අබ්භොකාසො පබ්බජ්ජා” යනුවෙන් දැක්වෙන පරිදි “ගිහි ගෙය බොහෝ කරදර ඇති බැවින් අවහිර තැනක; පිනට ඉඩ නැති තැනක; මහණකම ගැටෙන - බැඳෙන තැන් නො වන බැවින් අන් කිසිවක් නැති අහස වැනි ය යනාදීන් ගිහි ගෙයි ආදීනවය හා ප්‍රව්‍රජ්‍යාවෙහි ගුණ ද මෙනෙහි කිරීමෙන් නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය ඇති වේ.

පෙර අභිනිෂ්ක්‍රමණය කළවුන් ගේ චරිත මෙනෙහි කිරීමෙන් ද නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය ඇති වේ. මහාජනක ජාතකය, සෝණක ජාතකය, චූලසුතසෝම ජාතකය, හත්ථීපාල ජාතකය, අයෝඝර ජාතකය, භිස ජාතකය, සෝමනස්ස ජාතකය යනාදී අප මහබෝසතාණන් වහන්සේගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව දැක්වෙන ජාතක කථා මෙනෙහි කිරීම මැනවි. ඇතැම් ශ්‍රාවක චරිත මෙනෙහි කිරීම ද යහපති. දැන ගැනීමට බොහෝ ප්‍රයෝජනවත් එක් ශ්‍රාවක චරිතයක් දක්වනු ලැබේ. ඒ මෙසේ ය:

රට්ඨපාල තෙරුන් වහන්සේගේ කථාව

රට්ඨපාල තෙරුන් වහන්සේ කුරු රට චුල්ල කොට්ඨීත නම් නියම් ගමෙහි ප්‍රධාන පවුලට සිටි එකම දරුවා ය. ඔහුගේ නම රට්ඨපාල ය. ඔහුට ඒ නම ලැබී තිබෙන්නේ දුර්භික්‍ෂාදියෙන් රට අවුල් වූ අවස්ථාවල දී රට රැක ගැනීමට ශක්ති ඇති මහ ධනවතකු නිසා ය.

දිනක් තථාගතයන් වහන්සේ ඒ ගමට වැඩ එහි වැසියන්ට දහම් දෙසූ සේක. රට්ඨපාල කුලපුත්‍රයා ද ඒ ධර්මය ඇසුවේ ය. දහම් ඇසුවා වූ ඔහුට “බුදුන් වහන්සේ විසින් දේශනය කළ පරිදි සර්වාකාරයෙන් පිරිසුදු කොට බ්‍රහ්මචරියාව රක්නට ගිහිගෙයි දී නුපුළුවන. ඒ නිසා මා ගිහිගෙය හැර බුදුසස්නෙහි පැවිදි වන්නට ඕනෑ ය”යි සිතිණ. හේ ධර්ම දේශනාවසානයෙහි හුදකලාව බුදුන් වහන්සේ වෙත එළඹ පැවිද්ද ඉල්ලා සිටියේය. බුදුරජාණන් වහන්සේ “මාපියන් විසින් අනුදන්නා ලද්දේ දැ යි” අසා “නැතය” යි කී කල්හි ”රට්ඨපාලය, බුදුවරයෝ මා පියන් නො අනුදත් කුල පුත්‍රයන් පැවිදි නො කෙරති” යි වදාළ සේක.

එකල්හි රට්ඨපාල “මා පියන්ගෙන් අවසර ගෙන පැවිදි වෙමි” යි සිතා ගෙදර ගොස් මාපියනට කියනුයේ ”මෑණියෙනි, පියාණෙනි, මම බුදුන් වහන්සේගෙන් ධර්මය ඇසුවෙමි. උන් වහන්සේ දෙසූ සැටියට පිරිසිදු ලෙස බ්‍රහ්මර්‍ය්‍යාව පුරන්නට ගිහි ගෙයි සිට ගෙන නුපුළුවන, එබැවින් මට පැවිදි වන්නට අවසර දුන මැනව”යි කීය. එකල්හි මාපියෝ කියන්නාහු “දරුව, නුඹ අපට ඇත්තා වූ එක ම දරුවා ය. කිසි දුකක් නො විඳ සුවසේ වැඩුණු නුඹට පැවිදි වී දුක් විඳින්නට නුපුළුවන. දරුව මේ ගෙයි වුවමනා පමණ ධනය ඇත්තේ ය. නුඹ සුවසේ කා බී හැඳ පැළඳ පස්කම් සුව විඳිමින් මෙහි ම වෙසෙමින් පින් කර ගනුව, නුඹට පැවිදි වීමට කැමැත්ත නො දිය හැකි ය. අප නුඹ කෙරෙන් මරණයෙන් පවා වෙන් වන්නේ නො කැමැත්තෙන් ය. ජීවත් වන අපට කෙසේ නුඹෙන් වෙන් ව විසිය හැකිදැ’යි කීහ.

දෙවෙනුව ද තුන්වෙනුව ද රට්ඨපාල කුල පුත්‍රයා එසේ කීය. මාපියෝ ද ඔහුට කැමැත්ත නො දුන්හ. එකල්හි රට්ඨපාල කුල පුත්‍රයා “මහණ වන්නට කැමැත්ත නො දෙතහොත් මෙහි ම නො කා නො බී සිට මැරෙමි”යි බිම වැදහෙව, උපවාසයක් ආරම්භ කෙළේ ය. රට්ඨපාලයන් ගේ මාපියෝ බිම වැතිර සිටින පුතණුවන්ට නැවතත් තුන්වර දක්වා කරුණු කීහ. එහෙත් රට්ඨපාලගේ අදහස වෙනස් කරවන්නට ඔවුහු නො සමත් වූහ. නො කා නො බී සිටීමෙන් අමාරු වන කල්හි රට්ඨපාලයන් නැඟිටිතැ යි ඔවුහු සිතූ නමුත් එසේ නො වී ය. පසුව බිය පත් වූ මාපියෝ රට්ඨපාලයන් ගේ යහළුවන්ට කාරණය දැන්වූ හ. ඔවුහු ද අවුත් තුන්වර දක්වා රට්ඨපාලයන්ට කරුණු කීහ. ඒවායින් රට්ඨපාලයන්ගේ අදහස මඳකුදු වෙනස් නො වී ය. රට්ඨපාලයෝ පෙර සේම නිදති.

එකල්හි යහළුවෝ රට්ඨපාලයන් ගේ මාපියන් වෙත ගොස් කියන්නාහු “මෑණියනි, පියාණෙනි, ඉදින් නුඹලා රට්ඨපාලයන්ට පැවිදි වන්නට කැමැත්ත නුදුන හොත් ඔහු මැරෙන්නාහ. ඉදින් ඔහුට කැමැත්ත දුන හොත් පැවිදිව නුමුත් ජිවත් වන පුතණුවන් නුඹලාට දැකිය හැකි වනු ඇත. ඔහුට මහණ දමෙහි සිත් අලවා වාසය කරන්න නුපුළුවන් වුව හොත් නැවතත් ඔහු මෙහි ම එනු ඇත. එබැවින් ඔහුට පැවිදි වන්නට අවසර දෙනු මැනව”යි කීහ. එකල්හි මාපියෝ “අපි රට්ඨපාලයන්ට පැවිදි වන්නට කැමැත්ත දෙන්නෙමු ය. පැවිදි වූ පසු ඔහු අපට දක්නට ලැබෙන්නට ඕනෑ”යයි කීහ. යහළුවෝ රට්ඨපාලයන් වෙත ගොස් එ පවත් කීහ. එකල්හි රට්ඨපාලයෝ නැගිට උපවාසයෙන් පිරිහුණු, ශරීර ශක්තිය නැවත ඇති කර ගෙන බුදුන් වහන්සේ වෙත ගොස් පැවිදිව උපසම්පදාව ද ලබා ගත්හ.

රට්ඨපාල තෙරුන් වහන්සේගේ උපසම්පදාව කරවා අඩ මසකින් පසු තථාගතයන් වහන්සේ සැවැත් නුවර බලා වැඩි සේක. රට්ඨපාල තෙරුන් වහන්සේ ද බුදුන් වහන්සේ සමඟ වැඩ විවේකස්ථානයක වෙසෙමින් භාවනාවෙහි යෙදුනාහ. උන්වහන්සේ පෙර පින් ඇති උත්තමයකු වුව ද නෙය්‍ය පුද්ගලයෙකි. එබැවින් අද අද ම රහත් වන්නෙමි ය යන අදහසින් අනලස්ව මහණ දම් පිරූහ. එසේ වී නමුත් උන් වහන්සේට ඉක්මනින් මහණ දම් පිරීමේ අවසානයට පැමිණීමට නො හැකි වි ය. උන් වහන්සේ මහෝත්සාහයෙන් මහණදම් පුරන සේක් - දොළොස් වසකින් පසු එක් දිනයකදී සව් කෙලෙසුන් නසා රහත් වූ සේක.

රහත් වූ රට්ඨපාල තෙරුන් වහන්සේ බුදුන් කරා ගොස් වැඳ එකත් පසෙක හිඳ “ස්වාමීනි නුඹ වහන්සේ අවසර දෙන සේක් නම්, ථුල්ලකොට්ඨිතයට ගොස් මා පියනට පෙනී සිටින්නට කැමැත්තෙමි’යි සැලකළ සේක. තථාගතයන් වහන්සේ රට්ඨපාල තෙරුන් වහන්සේගේ සිත තමන් වහන්සේගේ ඥානයෙන් බලා උන් වහන්සේ නැවත ගිහි බවට නො පැමිණෙන කෙනෙකු වී සිටින බව දැක, එහි යාම අනුදැන වදාළ සේක. ඉක්බිති රට්ඨපාල තෙරුන් වහන්සේ වැඳ අවසර ගෙන ථුල්ලකොට්ඨිතයට වැඩ, කෝරව්‍ය රජුගේ මිගාචීර නම් උයනෙහි නැවතී පසු දින ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩනා සේක් - මාපියන් ගේ නිවසට ද පැමිණියහ.

එවේලෙහි තෙරුන් වහන්සේ ගේ පියාණෝ මැද දොරටුහලෙහි හිසකේ අවුල් හරවමින් උන්නහ. ඔහු තෙරුන් වහන්සේ දැක හැඳින ගත නොහී “මේ මුඩු මහණෝ අපට සිටි එකම පුතා පැවිදි කර වූහයි ආක්‍රෝශ කළහ. උන් වහන්සේට පියාණන්ගෙන් කිසි සැලකිල්ලක් නො ලැබිණි. එකෙණෙහි තෙරුන් වහන්සේට නෑ වන දාසියක්, පිළුණු අහරක් ඉවත ලෑමට සැරසිණ. එය දැක තෙරුන් වහන්සේ “නැගණිය, ඔය පිළුණු ආහාර අහක දමන්නට කැමැත්තී නම් එසේ නො කොට මාගේ පාත්‍රයට දමව’යි කීහ. දාසිය පිළුණු ආහාරය තෙරුන් වහන්සේගේ පාත්‍රයට බෙදන්නී, අත් පා සලකුණුවලින් උන් වහන්සේ හැඳින, උන් වහන්සේගේ මෑණියන්ට රට්ඨපාල කුලපුත්‍රයා පැමිණි බව දැන්වූවා ය.

එකල්හි මෑණියෝ “බොල තී කියන දෙය ඇත්තක් නම් තී අදාසියක් වන්නෙහිය”යි කියා විමසන ලෙස තෙරුන් වහන්සේගේ පියාට කීහ. එකෙණෙහි තෙරුන් වහන්සේ බිත්තියක් අයිනේ පිළුණු පිට්ටු වළඳමින් වැඩහුන් සේක. පියාණෝ එහි ගොස් “දරුව අපේ ගෙයි ධනය ඇත්තේ නො වේ ද? අහක දමන පිළුණු පිට්ටු කුමට වළඳන්නෙහි ද? දරුව, තමාගේ ගෙදරට යා යුතු නො වේදැ”යි කීහ. එකල්හි තෙරුන් වහන්සේ කියන සේක් “ගෘහපතිය, පැවිද්දන් වූ අපට ගෙවල් කොයින්ද? අපි ගෙවල් නැත්තෝ ය. තොපගේ ගෙට අපි ගියෙමු. එහිදී අපි දානයක් තබා හොඳ කථාවක් වත් නො ලැබුවෙමු. හුදෙක් එතැනින් අපට ලැබුණේ ඇණුම් - බැණුම් පමණය”යි වදාළ සේක. එක්ලහි පියාණෝ “ගෙට එනු මැනව” යි තෙරුන් වහන්සේට කීහ. “ගෘහපතිය, දැන් අප අහර වළඳා අවසානය’යි තෙරුන් වහන්සේ කීහ. පියාණෝ පසු දිනට ආරාධනා කළහ. තෙරුන් වහන්සේ එය ඉවසා වදාළ සේක.

තෙරුන් වහන්සේ ගේ පියාණෝ පසු දින ගෙයි තුබූ රන් රිදී ගෙන්වා විශාල ගොඩවල් දෙකක් කරවා කලාල වලින් වසා තබවා, තෙරුන් වහන්සේගේ පුරාණ භාර්‍ය්‍යාවන්ටද තෙරුන් වහන්සේට ප්‍රිය වන සැටියට සැරසී සිටින සේ දන්වා, ප්‍රණීත පරිදි භෝජනය පිළියෙල කරවා තෙරුන් වහන්සේට කාලය දැන්වූහ. තෙරුන් වහන්සේ එහි වැඩි සේක. පියාණෝ වසා තුබූ රන් රිදී ගොඩවල් හරවා තෙරුන් වහන්සේට දක්වා “දරුව, මෙහි සැප විඳින්නට පුළුවන. පින් කරන්නටත් පුළුවන. ඔය සිවුර ඉවත දමා මෙහි වෙසෙමින් සැපත් වළඳමින් පිනුත් කරව”යි කීහ. තෙරුන් වහන්සේ වදාරන සේක් - “ගෘහපතිය, නුඹ මා කියන්නක් කරන්නෙහි නම් මේ ධනය කරත්තවල පටවා ගෙන ගොස් ගඟ මැද දියට විසි කරනු මැනව. මේවා තබා ගෙන සිටිය හොත් නුඹට මේවා නිසා තැවෙන්නට - ශෝක වන්නට - හඬන්නට - වැලපෙන්නට සිදු වන්නේ ය” යි. වදාළ සේක.

එකල්හි තෙරුන් වහන්සේගේ පියාණෝ “මොහු මා විසින් ගෙන්වන ලද්දේ සිවුරු හරවා ගන්නට සිතා ගෙන ය. දැන් මොහු ලැහැස්ති වෙන්නේ මාත් මහණ කිරීමටය’යි සිතා පසු බැස, තෙරුන් වහන්සේ ගේ පුරාණ භාර්‍ය්‍යාවන්ට “තොප ගේ සැමියා පැමිණ සිටින්නේ ය. පුළුවන් සැටියකින් ඔහු සිවුරු හරවා ගනුව” යි කීහ. ස්ත්‍රීහු තෙරුන් වහන්සේ වෙත එළඹ පාමුල වැටී, “හිමියනි, මහණදම් පුරා ඔබ ලබන්නට සිතන අප්සරාවන් ගේ සැටි කෙසේදැ”යි ඇසූහ. “නැගණියනි, අපි අප්සරාවන් නිසා මහණකම් කරන්නමෝ නො වම්හ”යි වදාළ සේක. රට්ඨපාල තෙරුන් වහන්සේ සහෝදරත්වය දක්වමින් කථා කරනු අසා ස්ත්‍රීහු ක්ලාන්තව වැටුණෝ ය. තෙරුන් වහන්සේ ‘ගෘහපතිය, අපට කරදර නො කර දෙන දෙයක් ඇති නම් දී අප පිටත් කරනු මැනව’යි කීහ. එකල්හි පියාණෝ ප්‍රණීත භෝජනයෙන් තෙරුන් වහන්සේට සංග්‍රහ කළහ. තෙරුන් වහන්සේ වළඳා අවසානයෙහි සිට ගෙන ම සමීපයෙහි සිටියවුන්ට මේ ගාථා වදාළ සේක.

(1) “පස්ස චිත්තකතං බිමිබං අරුකායං සමුස්සිතං

ආතුරං බහුසංකප්පං යස්ස නත්ථී ධුවං ඨීති.

-

(2) පස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලෙන ච,

අල්ලතවෙන ඔනද්දං සහ වත්ථෙහි සොභති.

-

(3) අලත්තක කතා කෙසා මුඛං චුණ්ණකමක්ඛිතං

අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො

-

(4) අට්ඨපාදකතා කෙසා නෙත්තා අඤ්ජන මක්ඛිතා

අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො

-

(5) අඤ්ජනීච නවා චිත්තා පූතිකායො අලංකතො

අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො

-

(6) ඔදහි මිගවො පාසං නාසදා වාකරං මිගො

භුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තෙ මිගබන්ධකෙ”

ඒ ගාථාවල තේරුම මෙසේ ය -

(1) ඇට - නහර - මස් වලින් කෙලින් කොට සිටවා තිබෙන්නා වූ, නව ද්වාර සංඛ්‍යාත වණයන් නිසා වණකයක් වූ, ජරා ව්‍යාධි ක්ලේශයන් ගෙන් ආතුර වූ බොහෝ පුරුෂයන් විසින් පතනු ලබන්නා වූ, විසිතුරු කරන ලද්දා වූ මේ ස්ත්‍රී ආත්මභාවය බලව, එහි එක් සැටියකට ස්ථීරව පැවැත්මක් නම් නැත.

(2) මැණිකෙන් හා කරාබුවෙන් විසිතුරු කරන ලද්දා වූ අමු මිනිස් සමෙන් වෙලා ඇති ශරීරය බලව, එය වස්ත්‍ර සහිත වූයේ ම හොබී.

(3) හිසකේ ලාකඩ කැටවලින් ඔප කරන ලද්දාහ. මුහුණ ගෝරෝචනාදි සුනු ගල්වන ලද්දේය. සංසාරයා ගේ පරතෙර නො සොයන බාලයාට එය මුළාවීමට සෑහෙන්නේ ය.

(4) කේශයෝ හොර ලාටු මිශ්‍ර දියෙන් තෙමා නළල් කෙළවර රැළි ගන්නා සරසන ලද්දාහ. නේත්‍රයෝ අඳුන් ගල්වන ලද්දාහ. පරතෙර නො සොයන්නා වූ මෝඩයාට මුළාවීමට එය ප්‍රමාණ ය.

(5) විසිතුරු අලුත් අඳුන් කරඬුවක් මෙන් කුණුකය අලංකාර කරන ලද්දේ ය. පරතෙර නො සොයන්නා වූ මෝඩයාට මුළා වීමට එය ප්‍රමාණ ය.

(6) මුව වැද්දා රන් රීදී ගොඩවල් ය, ස්ත්‍රීහු ය යන කාම වස්තු වූ වර දැල දැමීමේ ය. මුවා දැලට නො පැන්නේ ය. මුවා ඇල්ලීමට තැබු ආහාරය වළඳා මුවන් බඳින්නවුන් හඬද්දී අපි යමු.

ඉක්බිති තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවය දක්වමින් අහසට නැගී ගොස් මිගාවීර උයන්හි එක් රුක් මුලෙක්හි වැඩ සිටි සේක. උයන් පල්ලා තෙරුන් වහන්සේ දැක වහා රජ ගෙදරට ගොස් “දේවයන් වහන්ස, නුඹ වහන්සේ නිතර මතක් කරන ගුණ කියන රට්ඨපාල තෙරුන් වහන්සේ උයනෙහි ගසක් මුල වැඩ සිටිති” යි කීය.

කෝරව්‍ය රජතුමා මහත් සතුටට පැමිණ තෙරුන් වහන්සේ දක්නට එහි ගොස් පිළිසඳර කථා කොට කියනුයේ “රට්ඨපාලයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැමෙක් ජරාවට පැමිණි කල්හි මම දැන් මහලු වී සිටිමි. මට දැන් වස්තුව සපයන්නට නුපුළුවන. ඇති දෙයක් වැඩි දියුණු කරන්නට ද නුපුළුවන. මෙසේ සිටිනවාට වඩා මට පැවිදි වීම හොඳය’යි වයස පිරිහීම නිසා පැවිදි වෙති. ඔබ වහන්සේ තවම තරුණ වියෙහි සිටිනා කෙනෙකි.

රට්ඨපාලයන් වහන්ස, ඇතැමෙක් සුව කළ නො හෙන රෝගයන්ට භාජන වී දුබල වීමෙන් මට දැන් වස්තුව සපයන්නටත් නුපුළුවන. ඇති දෙයක් දියුණු කර ගැනීමටත් නුපුළුවන. මෙසේ විසීමට වඩා පැවිදි වීම හොඳය”යි සිතා පැවිදි වෙති. ඔබ වහන්සේට එබඳු පිරිහීමක් පෙනෙන්නට නැත. ඔබ වහන්සේ නිරෝගී ශක්ති සම්පන්න කෙනෙකි. පින්වත් රට්ඨපාලයන් වහන්ස, ඇතැමෙක් ධනවත්ව සිට ධනයෙන් පිරිහී ගොස් මට නැවත ධනය ඇති කර ගැනීම පහසු නැත. ඇති දෑ දියුණු කර ගැනීමට ද පහසු නැත. මට මෙසේ දිළිඳු ජීවිතයක් ගත කරනවාට වඩා පැවිදි වී පරලොව ගැනවත් බලා ගැනීම යහපතැයි සිතා පැවිදි වෙති. ඔබ වහන්සේ මේ ථුල්ලකොට්ඨීතයේ පොහොසත් පවුලේ දරුවෙක, ඔබ වහන්සේට ධනයෙන් අඩුවක්ද නැත.

පින්වත් රට්ඨපාලයන් වහන්ස, ඇතැමෙක් බොහෝ ඥාති මිත්‍රයන් ඇතුව සිට පසුව අනුක්‍රමයෙන් ඔවුන් මිය යාමෙන් තනි වෙති. ඔවුහු මෙසේ තනි ජීවිතයක් ගත කරන්නා වූ අපට මේ තනි ජිවිතයට වඩා පැවිදි වීම යහපතැ යි සිතා ඥාති පරිහානිය නිසා පැවිදි වෙති. රට්ඨපාලයන් වහන්ස, ඔබ නෑ මිතුරන් ගෙන් පිරිහුණු කෙනෙක් ද නො වෙයි. ඔබ වහන්සේට මේ ථුල්ලකොට්ඨීතයෙහි බොහෝ නෑ මිතුරෝ ඇත. ඔබ වහන්සේ කුමක් දැන, කුමක් දැක, කුමක් අසා පැවිදි වූ සේක් දැ”යි කී ය.

“මහරජ, තථාගතයන් වහන්සේ වදාළ ධර්මපද සතරක් ඇත්තේ ය. මම ඒවා දැන, ඒවා දැක, ඒවා අසා පැවිදි වූයෙමි. මහරජ “උපනීයති ලොකො අද්ධුවෝ” යනු තථාගතයන් වහන්සේ වදාළ එක් ධර්ම පදයෙකි. “අත්තානෝ ලොකො අනභිස්සරො” යනු එක් ධර්මපදයෙකි. “අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං” යනු එක් ධර්ම පදයෙකි. “ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො” යනු එක් ධර්ම පදයෙකි. මහරජ මේ මා දත්, මා දුටු, මා ඇසු ධර්ම පද සතරය’යි තෙරුන් වහන්සේ වදාළ සේක.

(1) “උපනීයති ලොකො අද්ධුවො” යන ධර්ම පදයෙහි තේරුම - සත්ත්වයන් ගේ එක් ස්වභාවයක නැවතී සිටීමක් නැත. ආයුඃක්ෂයවීමෙන් ඔවුහු ජරා මරණයන් කරා ගෙන යනු ලැබෙත්ය යනු යි.

(2) “අත්තානො ලොකො අනභිස්සරො” යන ධර්මපදයෙහි තේරුම - සත්ත්වයාට පිහිට වන්නට සමත් කෙනෙකු නැතියෙක් ය, සනසන්නට කෙනෙකු නැතියෙක් ය යනුයි. සත්ත්වයාට ජරා මරණාදියට නො පැමිණ විසීමට - පිහිට වීමට සමත් කෙනෙක් නැත. සත්ත්වයා සැනසීමට සමත් කෙනෙක් නැත යනු යි.

(3) “අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං” යන ධර්ම පදයෙහි තේරුම - සත්ත්වයා හට ඇත්ත වශයෙන් අයත් දෙයක් නැත. මාගේ ය, මාගේ යයි කියා ගෙන සිටින සියල්ල ම ඔහුට හැර යාමට සිදු වේ ය යනු යි.

(4) “ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො” යන ධර්ම පදයෙහි තේරුම - සත්ත්වයාට කොතෙක් ලැබුණත් මදිය. ඇති වීමක් නැත. හේ හැම කල්හි ම තෘෂ්ණාවට දාසයෙක යනු යි.

ඉක්බිති රජතුමා හා රට්ඨපාල තෙරුන් වහන්සේ අතර ඇති වූ කථාව මෙසේ ය -

රජතුමා - පින්වත් රට්ඨපාලයන් වහන්ස, උපනීයති ලොකො අද්ධුවොයි ඔබ වහන්සේ කීවහු ය. එහි තේරුම කවරේ ද?

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබට අතීතයේ හස්තිශිල්ප, අස්ව

ශිල්පාදියෙහි දක්ෂ භාවයක් ඇති, හොඳට කාය ශක්තිය ඇති, විසිවස් විසිපස් වස් වයස ඇති කාලයක් තිබුණේ නොවේ ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ඒ හරිය කුමට කියමු ද? එදා මට සිතුණේ මම සෘද්ධිමතෙක්ය කියා ය. මාගේ ශක්තිය තිබුණු සැටි එසේ ය.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, දැනුත් නුඹට ඒ සපන්කම් කළ හැකි ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, කුමට කියනවාද? දැන් මම අසූ අවුරුදු වයසෙහි සිටිමි. දැන් පය තැබුවා ම මාගේ පය නවතින්නේ තබන තැන නොව අන් තැනක ය. දැන් මගේ හැටි ඔහොම තමා. පෙර තුබූ ඒ බල පුළුවන්කාරකම් කිසිවක් දැන් මට නැත.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඒ භාග්‍යවතුන් වහන්සේ “උපනීයති ලොකො අද්ධුවො” යි වදාළේ ඔය කාරණය නිසා ය.

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ඉතා පුදුමයි. “උපනීයති ලොකො අද්ධුවො” යන බුද්ධ වචනය හරියට හරි. ඒ බව මට දැන් හොඳින් ම වැටහුණා.

පින්වත් රට්ඨපාලයන් වහන්ස, අපේ රජ වාසලට හස්ති සේනාවක් ද ඇත්තේ ය. අශ්ව සේනාවක් ද ඇත්තේ ය. රථ සේනාවක් ද ඇත්තේය. පාබල සේනාවක් ද ඇත්තේ ය. රට්ඨපාලයන් වහන්ස, අපට විපතක් පැමිණි කල්හි ඒ සේනාවෝ අප වෙනුවෙන් සටන් කරන්නාහ. අප ආරක්ෂා කරන්නාහ. “අත්තානො ලොකො අනභිස්සරො, යි ඔබ වහන්සේ සත්ත්වයාට පිහිට විය හැකි කෙනෙකු නැතය’යි කියන සේක. එහි තේරුම කුමක් ද?

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබගේ ශරීරයෙහි නො නැසී පවත්නා යම්කිසි රෝගයක් ඇත් ද?

රජතුමා - එසේ ය; රට්ඨපාලයන් වහන්ස, මාගේ ශරීරයෙහි නපුරු වාතාබාධයක් ඇත්තේ ය. එය උත්සන්න වූ ඇතැම් අවස්ථාවල කොරව්‍ය රජු දැන් දැන් මැරෙනු ඇතැයි මාගේ නෑ මිතුරෝ රැස්ව බලා සිටිති.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබට ඇති වන ඒ වේදනාව ඒ පැමිණෙන නෑ මිතුරන් සමඟ බෙදාගෙන විඳිමින් ඔබට සැනසිල්ලක් ලබා ගන්නට බැරි ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, කොතෙකුත් නෑ මිතුරන් සිටියත් වේදනාව බෙදා ගෙන විඳින්නට නුපුළුවන. ඒ වේදනාව විඳින්නට වන්නේ මට පමණක් ය. එයින් කොටසක් බාර ගැනීමට සමතෙක් නැත.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, තථාගතයන් වහන්සේ “අත්තානො ලොකො අනභිස්සරො” යන ධර්ම පදය වදාළේ ඔය කාරණය ගැන ය.

රජතුමා - පින්වත් රට්ඨපාලයන් වහන්ස, ඒ තථාගතයන් වහන්සේ ගේ දැනුම ඉතා පුදුමයි. “අත්තානො ලොකො අනභිස්සරො” යන බණ පදය හරියට ම හරි.

පින්වත් රට්ඨපාලයන් වහන්ස, නිධානවල ද ගබඩාවල ද බොහෝ ධනය අපට තිබේ. “අස්සකෝ ලොකො සබ්බං පහාය ගමනීයං” සත්ත්වයාට අයත් කිසිවක් නැතය, සියල්ල හැර දමා යා යුතුය යි නුඹ වහන්සේ කියන්නාහුය. එහි තේරුම කුමක් ද?

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබ දැන් බොහෝ වස්තු රැස්කර ගෙන පස්කම් සැප විඳින්නෙහි ය. ඒ වස්තුව එසේ ම තිබිය දී ඒවා අනුන්ට භුක්ති විඳිමට හැර, ඔබට පමණක් පරලෝ යන්නට සිදු වෙනවා මිස ඒවා ගෙන ගොස් පරලොව ද භුක්ති විඳින්නට ලැබෙනවා ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ඒ ධනය එසේ ම තුබූ තුබූ තැන්වල තිබියදී පරලොව යන්නට සිදු වෙනවා මිස කිසිවක් ගෙන යන්නට නො ලැබෙන්නේ ය.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, තථාගතයන් වහන්සේ “අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං” යන ධර්ම පදය වදාලේ ඒ කාරණය නිසා ය.

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, තථාගත වචනය ඉතා ආශ්චර්‍ය්‍ය යි. එය එසේ ම යි. පින්වත් රට්ඨපාලයන් වහන්ස, “ඌනො ලොකො අතිත්තො තණ්හා දාසො” යි නුඹ වහන්සේ තවත් ධර්ම පදයක් කීවහු ය. එහි තේරුම කුමක් ද?

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබ දැන් බොහෝ සම්පත් ඇති මේ කුරුරට අයත් කරගෙන එයට අධිපති ව වාසය කරනවා නේ ද?

රජතුමා - එහෙමයි රට්ඨපාලයන් වහන්ස.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, ඔබට විශ්වාස කළහැකි මිනිසකු අවුත්, දේවයන් වහන්ස, නැගෙනහිර දිග ඔබට පහසුවෙන් යටත් කර ගත හැකි ජනපදයක් ඇත. නුඹ වහන්සේ විසින් එයත් යටත් කරගනු මැනව යි කියත හොත් ඔබ කුමක් කරන්නෙහි ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස. එයත් යටත් කර ගනිමි.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, දකුණු දිගින් කෙනෙක් අවුත් එසේ කියුවහොත් ඔබ කුමක් කරන්නෙහි ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ඒ ජනපදයත් අයත් කර ගනිමි.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, බස්නාහිරින් කෙනකු අවුත් එසේ කියුව හොත් කුමක් කරන්නෙහි ද?

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, එයත් අයිති කර ගනිමි.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, උතුරෙන් කෙනෙකු අවුත් එසේ කියුව හොත් කුමක් කරන්නෙහි ද?

රජතුමා - එයත් යටත් කර ගනිමි.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, මුහුදෙන් එතර සිටි කෙනකු අවුත් එසේ කියුව හොත් කුමක් කරන්නෙහි ද?

රජතුමා - එයත් අයිති කර ගනිමි.

රට්ඨපාල තෙරුන් වහන්සේ - මහරජ, තථාගතයන් වහන්සේ විසින් “ඌනො ලොකො අතිත්තො තණ්හා දාසො” යන ධර්මපදය වදාලේ ඔය කරුණ ගැන ය.

රජතුමා - රට්ඨපාලයන් වහන්ස, ආශ්චර්යයි. තථාගතයන් වහන්සේ වදාළ ඒ ධර්මපදය එසේ ම යි. සත්ත්වයනට ඇති වීමක් නම් වන්නේ ම නැත.

ඉක්බිති රට්ඨපාල තෙරුන් වහන්සේ රජුට ගාථා තෙළෙසකින් දහම් දෙසූ සේක. ඒ ගාථා හා ඒවායේ තේරුම මෙසේ ය : (ඒවා රසවත් ගාථාය. සිංහලයෙන් තේරුම් කිරීමේදී පාළි වචන අනුව ම තේරුම් කළ හොත් ඒවායේ රසය නො ලැබේ. එබැවින් ගාථාවල රසය නො නැසෙන පරිදි සිංහලයට ගැලපෙන සැටියට ඒවායේ තේරුම දක්වනු ලැබේ.)

පස්සාමි ලොකෙ සධනෙ මනුස්සෙ

ලද්ධාන විත්තං න දදන්ති මොහා

ලුද්ධා ධනං සන්නිචයං කරොන්ති

භීය්‍යොව කාමෙ අභිපත්ථයන්ති

ලෝකයෙහි පොහොසත්තු ඇතහ. ඔවුහු වස්තුව ඇත ද, ලෝභය නිසා කිසිවකුට කිසිවක් නො දෙති. ලෝභයෙන් ධනය ම රැස් කරති. තව තවත් කම් සැප ම පතති.

රාජා පසය්හ පඨවිං ජිනිත්වා

සසාගරන්තං මහිමාවසන්තො

ඔරං සමුද්දස්ස අතිත්තරූපො

පාරං සමුද්දස්ස’පි පත්ථයෙථ

සාගරය දක්වා ඇති මේ පොළොව අයිති කර ගෙන සිටින රජුට එපමණින් ඇති නොවී සාගරයෙන් ඔබ රටවල් ගැන ද සිතන්නේ ය.

රාජා ච අඤ්ඤෙ ච බහූ මනුස්සා

අවීත තණ්හා මරණං උපෙන්ති

ඌණාව හුත්වාත ජහන්ති දෙහං

කාමෙහි ලොකම්හි න’හත්ථී තිත්ති

රජ ද අන්‍ය බොහෝ මනුෂ්‍යයෝ ද ලෝභය දුරු නො කොට ම මැරෙති. ඔවුහු රැස් කළ වස්තුව ඇති නොවී ම මැරෙති. ලෝකයෙහි මිනිසුන්ට කාමයන් ඇති වීමක් නම් නැත. කෙතෙක් ලැබූවත් ඔවුන්ට මදිම ය.

කන්දන්ති තං ඤාති පරිකිරිය කෙසෙ

අහො වතා නො අමරාති චාහු

වත්ථෙන තං පාරුතං නීහරිත්වා

චිතං සමොධාය තතො ඩහන්ති.

නෑයෝ ඒ මිය ගිය තැනැත්තා ගැන අනේ අපේ තාත්තා, අනේ අපේ අම්මා, අනේ අපේ මල්ලී, අනේ අපේ හොඳ නංගී යනාදීන් කියමින් හිසකේ අවුල් කර ගෙන හඬති. එසේ කොට මළ තැනැත්තාට රෙද්දක් පොරවා බැහැරට ගෙන ගොස් දර සෑයක් කොට එහි තබා දවති.

සො ඩය්හති සුලෙහි චිතුජ්ජමානො

එකෙන වත්ථෙන පහාය භොගෙ

න මීයමානස්ස භවන්ති තාණා

ඤාතීධමිත්තා අථවා සහායා

ඒ මළ තැනැත්තා හම්බ කළ සියල්ල අත හැර, හැඳි වත පමණකින් එහි ගොස් මිනී දවන්නන්ගේ හුල් පහරට ලක් වෙමින් ගිනි ගොඩේ දැවෙන්නේ ය. මේ ලෝකයෙහි මැරෙන්නහුට පිහිට වන නෑයෙක් මිතුරෙක් නැත්තේ ය.

දායාදකා තස්ස ධනං හරන්ති

සත්තෝ පන ගච්ඡති යෙන කම්මං

න මීයමානං ධනමන්වෙති කිඤ්චි

පුත්තා ච දාරා ච ධනං ච රට්ඨං

ඒ මළහු තණ්හාවෙන් රැස් කළ ධනය උරුමක්කාරයෝ බෙදා ගනිති. මළ තැනැත්තේ කම් වූ පරිදිදෙන් සුගතියට හෝ අපායට යේ; ඔහු හා යන ධනයක් නැත. නෑයෙක් මිතුරෙක් ද නැත. රටක් ද නැත.

න දීඝ මායුං ලභතෙ ධනෙන

න චාපි චිත්තෙන ජරං විහන්ති

අප්පං හි දං ජිවිතං ආහු ධීරා

අසස්සතං විප්පරිණාම ධම්මං

ධනය නිසා ධනවතාට ලෝකයෙහි අන්‍යයන් ජීවත් වෙන කාලයට අධික කාලයක් ජීවත් වන්නට නො ලැබේ. ධනය නිසා ධනවතා ජරාවට නො පැමිණෙන්නේ ද නො වේ. මේ ජිවිතය අල්පය යි ද, අස්ථීරය යි ද, පෙරෙළන දෙයකැ යි ද නුවණැත්තෝ කීහු.

අඞ්ඪා දලිද්දා ච ඵුසන්ති ඵස්සා

බාලො ච ධීරො ච තථෙව ඵුට්ඨො

බාලෙ හි බාල්‍යා වධිතොව සෙති

ධීරො ච නාවෙධති එස්ස පුට්ඨො

පොහොසත් නො පොහොසත් හැම දෙන ම මැරෙන්නා හ. බාලයෝ ත් පණ්ඩිතයෝත් එසේ ම මැරෙන්නා හ. මරණ කාලයේ දී බාලයා මා විසින් පිනක් කර නො ගතිමි යි තැවි තැවී නිදන්නේ ය. පව් නො කළ බැවින් හා පින් කළ බැවින් නුවණැත්තේ මරණ කාලයේ දී තැවීමක් නැති ව බියක් නැති ව මැරෙන්නේ ය.

තස්මා හි පඤ්ඤාව ධනෙන සෙය්‍යො

යාය වොසානං ඉධාධිගච්ඡති

අසො සිත්තා හි භවාභවෙසු

පාපානි කම්මානි කරොන්ති මොහා

ප්‍රඥාව කරණකොට මේ ලෝකයේ සකල කෘත්‍යයන්ගේ අවසානය වූ අර්හත්වයට පැමිණිය හැකි වන බැවින් ධනයට වඩා ප්‍රඥාව ම උතුම්, අර්හත්වයට නො පැමිණීම නිසා කුඩා මහත් භවයන්හි, මෝහයෙන් සත්ත්වයා පව්කම් කරන්නේ ය.

උපෙති ගබ්භං ච පරඤ්ච ලොකං

සංසාරමාපජ්ජ පරම්පරාය

තස්සප්ප පඤ්ඤො අභිසද්දහන්තො

උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං

පව් කරන්නා වූ සත්ත්වයා භව පරම්පරාවෙන් සංසාරයට පැමිණ ගර්භයට ද පරලොවට ද යයි. නුවණ නැති තැනැත්තේ ඔහුගේ වචන අදහා ක්‍රියා කොට තෙමේත් ගර්භයට හා පරලොවට යයි.

චොරො යථා සන්ධිමුඛෙ ගහීතො

සකම්මනා භඤ්ඤති පාප ධම්මො

එවං පජා පෙච්ච පරම්හි ලොකෙ

සකම්මනා භඤ්ඤති පාප ධම්මො

ගෙය බින්ද සිදුර ලඟ ම සිට අසු වූ සොරා තමා කළ වරදට ගෙහිමියන්ගෙන් ගුටිබැට හා රජයෙන් දඬුවම් ද, ලබන්නාක් මෙන් පව් කළ තැනැත්තේ පසුව පරලෙව් හි අපායේ දී තමා කළ අපරාධ ගැන දඬුවම් ලබන්නේ ය.

කාමාහි චිත්‍රා මධුරා මනොරමා

වීරූපරූපෙන මථෙන්ති චිත්තං

ආදීනවං කාමගුණෙසු දිස්වා

තස්මා අහං පබ්බජිතො’ස්මි රාජ.

විසිතුරු වූ මිහිර වූ සිත් අලවන්නා වූ කාමයෝ නා නා ආකාරයෙන් සත්ත්වයා ගේ සිත පෙළත්, මහරජ, මම මෙ ලොව ද දෙව්ලොව ද ඇති කාමයන් ගේ දොස් දැක පැවිදි වූයෙමි.

“දුමප්ඵලා නෙව පතන්ති මානවා

දහරා ච වුද්ධා ච සරීරභේදා

එතම්පි දිස්වා පබ්බජිතො’ම්හි රාජ

අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්‍යො”

ළදරු වූ ද, මහලු වූ ද, මනුෂ්‍යයෝ ගස්වල ගෙඩි වැටෙන්නාක් මෙන් මැරී වැටෙති. මහරජ, මම එය ද දැක පැවිදි වූයෙමි. වැරදීමක් නැති ඒකාන්තයෙන් නිවනට පමුණුවන්නා වූ පැවිද්ද ම උතුම්.

රට්ඨපාල තෙරුන් වහන්සේගේ චරිතය නිමි.

මහා බෝධිසත්ත්ව මහා ජනක රජතුමාගේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනා.

මහබෝසත් මහා ජනක රජතුමාගේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාව දැක්වෙන ගාථා බොහෝ ගණනක් මහා ජනක ජාතකයෙහි ඇත්තේ ය. ඒවායින් කිහිපයක් මෙසේ ය.

කදාහං මිථීලං වීතං විසාලං සබ්බතො පහං

පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති

සියල්ලෙන් සමෘද්ධ වූ, විශාල වූ, වස්ත්‍රාලංකාරාලෝකයෙන් බබලන්නා වූ, මේ මිථීලා නගරය හැර මම කවදා පැවිදි වන්නෙම්ද? එය මට කවදා සිදුවේ ද?

කදා සත්තසතතභරියා අස්සවා පියභාණිනී

පහාය පබ්බජිස්සාමි තං කදාස්සු භවිස්සති.

කීකරු වූ ප්‍රිය කථා ඇත්තා වූ, භාර්‍ය්‍යාවන් සත් සියය හැර, කවදා මම පැවිදි වෙම්ද? එය මට කවදා සිදු වේ ද?

කදාපත්තං ගහෙත්වාන මුණ්ඩො සංඝාටිපාරුතො,

පිණ්ඩිකාය චරිස්සාමි තං කදාස්සු භවිස්සති.

හිස මුඩු කොට, කැබලි එකතු කොට මැසූ සිවුර පොරවා, පාත්‍රය ගෙන කවදා මම පිඬු සිඟා යෙම් ද? එය මට කවදා සිදු වේ ද?

කදා සත්තාහං මෙඝෙ ඔවට්ටො අල්ලචීවරො

පිණ්ඩිකාය චරිස්සාමි තං කදාස්සු භවිස්සති.

සතියක් තිස්සේ නො නැවතී වස්නා මහ වැස්සේ තෙමි තෙමී, තෙමුණු සිවුරෙන් කවදා මම පිඬු සිඟා යෙම් ද? එය මට කවදා සිදු වේ ද?

හිත්වා සතපලං කංසං සොවණ්ණං සතරාජිකං

අග්ගහිං මත්තිකාපත්තං තං දුතියාභිසෙවනං

සිය පලමක් රනින් කළ සිය ගණන් රේඛා ඇති රන් තලිය හැර මැටි පාත්‍රය ගතිමි. එය මාගේ දෙවෙනි අභිෂේකය ය.

නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය

කියන ලද පරිදි කාමයන්ගේ ආදීනවය හා නෛෂ්ක්‍රම්‍යයේ ආනිසංසයන් ද මෙනෙහි කොට නෛෂ්ක්‍රම්‍යයට සිත නමා ගෙන නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරිය යුතු ය. මේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ශීල පාරමිතාව හා විශේෂයෙන්ම බැඳී පවත්නකි. එය පැවිදි වීම ප්‍රධාන කොට ඇතියකි. ගිහියන්ට ද එය එක්තරා ප්‍රමාණයකින් පිරිය හැකි ය. පොහෝ දිනයන්හි සිල් සමාදන් වීමෙහි ද නෛෂ්ක්‍රම්‍යය ඇත්තේ ය. පොහෝ දිනයන්හි සිල් සමාදන් වී අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම, කාමවස්තුවකින් ඒ දිනයට නුමුත් බැහැරවීම නෛෂ්ක්‍රම්‍යයෙකි.

විකාල භෝජනයෙන් වැළකීම ය, නැටුම් බැලීම් ආදියෙන් වැළකීම ය, උච්චාසයන මහා සයන පරිභෝගයෙන් වැළකීම ය යන මේවා ද ඒ ඒ කාම වස්තූන්ගෙන් බැහැර වීමක් බැවින් නෛෂ්ක්‍රම්‍යය ය; සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමත් වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් බැහැර වීමක් බැවින් නෛෂ්ක්‍රම්‍යයෙකි. ගිහිව සිටින පින්වතුන් විසින් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරීම් වශයෙන් පොහොය සිල් සමාදන් වීමත්, භාවනාවත් කළ යුතුය.

නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව හා තාපස ප්‍රව්‍රජ්‍යාව

උසස් ලෙස නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පුරනු කැමති පින්වතා විසින් පැවිදි විය යුතුය. පැවිදි වීම උසස් නෛෂ්ක්‍රම්‍යය ය. නෛෂ්ක්‍රම්‍යය පාරමිතාව පුරන පින්වතුන්ට විශේෂයෙන් ම පැවිදි වීමට නිසි තැන සර්වඥ ශාසනය ය. ලෝකයෙහි සර්වඥශාසනය සැම කල්හි ම නැත්තේය. එය නැති කාලවල දී කර්මවාදී තාපස නිකායවල පැවිදි වීම සුදුසු ය. “පබ්බජ්ජමනුතිට්ඨන්තෙ ච මහාසත්තෙන අසති බුද්ධුප්පාදෙ, කම්මවාදීනං කිරියවාදීනං තාපස පරිබ්බාජකානං පබ්බජ්ජා අනුට්ඨාතබ්බා. උප්පන්නේසු පන සම්මා සම්බුද්ධෙසු. තෙසං සාසනෙ පබ්බජිතබ්බං” යනුවෙන් ඒ බව චරියාපිටක අටුවාවෙහි ද දක්වා තිබේ.

“ඉමස්මිං ඛො සුභද්ද, ධම්මවිනයේ අරියො අට්ඨංගිකො මග්ගො උපලබ්භති. ඉධෙව සුභද්ද සමණො ඉධ දුතියො සමණො ඉධ තතියෝ සමණො ඉධ චතුත්ථො සමණෝ” යනුවෙන් බුදු සස්නෙහි පමණක් ඇති, ඉන් පිටත නැති, ශ්‍රමණයන් සතර දෙනෙකු ඇති බව, මහාපරිනිබ්බාන සූත්‍රයෙහි වදාරා තිබේ. එහි දැක්වෙන සතර වන ශ්‍රමණයා නම් රහතන් වහන්සේ ය.

සම්‍යක් සම්බෝධිය ය, ප්‍රත්යේක සම්බෝධිය ය, ශ්‍රාවක බෝධිය ය යන බෝධිත්‍රය ම අර්හත් මාර්ගයේ ම ප්‍රභේදයෝය. එබැවින් බෝධිත්‍රය බුදු සස්නට අයත් උසස් ධර්ම තුනකි. ඒවා ලැබීමේ පාරමිතාව පිරීමට ඉතා සුදුසු තැන ද සර්වඥ ශාසනය ය. මහා බෝධි සත්ත්වයන් වහන්සේලා බුදු සස්න ඇති කල්හි බුදු සස්නෙහි පැවිදි වන්නේ එහෙයිනි. තාපසවරු බුදු සස්නට අයත් පිරිසක් නොවේ. බුදු සස්නට අයත් වන්නේ භික්ෂු - භික්ෂුණී උපාසක - උපාසිකා යන පිරිස් සතර ය.

තාපස පිරිසය කියා පස්වන පිරිසක් බුදු සස්නට නැත. එහෙත් යම් කිසි කෙනෙකු කැමති නම් බෞද්ධ තාපසයකු වී සිටියාට වරදක් නැත. බෞද්ධ තාපසවරු බුදු සස්නට අයත් භික්ෂු පිරිසට ඇතුළත් නොවේ. රත්නත්‍රය සරණ යන බැවින් ඔවුහු බුදු සස්නෙහි උපාසක පිරිසට අයත් වෙති. බුදු සස්නෙහි උපාසක උපාසිකා පිරිසට නියමිත ඇඳුමක් නැත්තේ ය. ඔවුනට කැමති ඇඳුමකින් සිටිය හැකි ය. භික්ෂු පිරිසට හා භික්ෂුණී පිරිසට නියමිත ඇඳුම් ඇත්තේය. ඒ දෙ පරිසට විනයෙහි නියම ඇඳුම මිස අන් ඇඳුමක් ඇඳීමට කැප නැත. ඒ භික්ෂු භික්ෂූණීන්ට නියමිත ඇඳුම ද උපාසකෝපාසිකාවන්ට කැප නැත. තාපසවරුන්ටත් කැප නැත.

ශාසනික භික්ෂු වේශය අනෙකකි. තාපස වේශය අනෙකකි. විනයානුකුල භික්ෂූන්ට නියමිත චීවරාදිය භික්ෂූන්ට මිස තාපසවරුන්ට අයිති නැත. තාපසවරුන්ට තාපස පරිෂ්කාර ඇත්තේ ය. එබැවින් තාපසවරුන් විසින් තාපස වේශය මිස භික්ෂු වේශය නො ගත යුතු ය. මෙකල භික්ෂු වේශයෙන් හැසිරෙන තාපසවරු දක්නා ලැබෙත්. බුදු සස්නෙහි භික්ෂූන්ගේ පරිෂ්කාර ගැනීමත්, ශාසනික භික්ෂූන් හඳින පොරවන සැටියට ඒවා හැඳ පෙරවීමත්, ඇතැම් තාපසවරුන් විසින් කරන බලවත් වරදකි. රජයේ යම් කිසි නිලයකට අයත් ඇඳුම් අනිකකු හඳිනවා නම් එය දඬුවම් ලැබීමට නිසි වරදක් වන්නාක් මෙන්ම, ශාසනයෙහි පැවිද්ද නො ලැබූ තාපසයන් විසින් භික්ෂු පරිෂ්කාර ගැනීමත් දඬුවම් ලැබීමට නිසි වරදෙකි.

විනයානුකූල වූ චීවරයන් විනයානුකූලව සුදුසු භික්ෂූන් වහන්සේ කෙනකුගෙන් නො ලබා, තමා විසින් ම පොරවා ගන්නා වූ තැනැත්තාට විනයෙහි කියා තිබෙන්නේ ලිංගත්ථෙනකයා ය කියා ය. එහි තේරුම ශාසනික භික්ෂු වේශය සොරාගත් තැනැත්තා ය යනු යි. ලිංගත්ථෙනක තාපසයකු ලවා හෝ ගිහියකු ලවා එය පොරවා ගත් තැනැත්තා ද ලිංගත්ථෙනකයෙක් ම ය. ලිංගත්ථෙනක භාවය බරපතල වරදෙකි. ඒ ගැන දනු කැමැත්තෝ විනය පොත්වලින් එය බලා ගනිත්වා! නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරීම සඳහා තාපස වනු කැමැත්තෝ ලිංගත්ථෙනක නො වන ලෙස නියම තාපස වේශයෙන් ම එය කෙරෙත්වා.!

පැවිදි වන කුලපුත්‍රයන් පැවිදි වන්නේ ද තමා ගේ මා පිය සහෝදරාදි ඥාති පිරිස හා තමාගේ යම් මඳ වූ හෝ බොහෝ වූ හෝ දේපළක් වේ නම් එයත් හැර දැමීමෙනි. ලෝකයෙහි සිය නෑ මිතුරු පිරිස හැර එක් රැයක් ගත කිරීම පවා බොහෝ දෙනාට දුෂ්කර කරුණකි. යම් කිසිවෙක් සම්පූර්ණයෙන් ම ගෙයක්, නෑ මිතුරු පිරිසක් හැර දමා පැවිදි වේ නම් ඔහු කරන්නේ ඉතා දුෂ්කර දෙයකි. එය මහාභිනිෂ්ක්‍රමණයෙකි. එසේ පැවිදි වූ තැනැත්තා ගේ සිවු පිරිසිදු සීලය රැකීමත් නෛෂ්ක්‍රම්‍යය මය. ධුතංග සංරක්ෂණය ය, සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම ය යන මේවා ද නෛෂ්ක්‍රම්‍යය ම ය. පැවිදි වන පින්වත්හු ගිහි ගෙයින් නික්මීම් මාත්‍රයෙන් නො නැවතී ශීල පූරණ ධුතංගසංරක්ෂණ ධ්‍යාන භාවනා යනාදියෙන් නෛෂ්ක්‍රම්‍යය දියුණු කෙරෙත්වා!

බොහෝ දෙනා පැවිදිව නැවතත් අනික් ආකාරයකට කාම වස්තු කොටසක් අල්ලා ගනිති. විහාරාරාම ගෝලබාලාදීහු පැවිද්දන්ගේ කාම වස්තුහු ය. ඒවා අයත් කර ගෙන ඒවාට ඇලුම් කරගෙන ඒවායේ බැඳී සිටින පින්වතුන්ට නැවතත් වරක් අභිනිෂ්ක්‍රමණය කරන්නට තිබේ. නැවත කළ යුතු අභිනිෂ්ක්‍රමණය නම් විහාරාදි දේපල හැර දමා විවේක ස්ථානයනට එළඹ භාවනාවෙහි යෙදීම හා නගර ග්‍රාමයන්හි මහා විහාර වල වාසය කෙළේ ද ඒවාට හා අන්‍ය ප්‍රත්‍යයවලට ද ඇලුම් නො කිරීමයි. පෙර අනුරාධපුරයෙහි ථූපාරාමයේ විසූ අල්පේච්ඡ තෙරුන් වහන්සේ වැනි අයට නම් පැවිදි වීමෙන් පසු අභිනිෂ්ක්‍රමණයක් කරන්නට දෙයක් නැත. ඒ තෙරුන් වහන්සේ ගේ කථාව මෙසේ ය:

පෙර අනුරාධපුරයේ විසූ යහළුවෝ දෙදෙනෙක් ථූපාරාම විහාරයේ පැවිදි වූහ. ඒ දෙනම ගෙන් එක් නමක් උභය ප්‍රාතිමෝක්ෂය උගෙන පස් වස් පිරීමෙන් පසු පාචීන ඛණ්ඩාරාජි නම් වූ පෙදෙසට ගියේ ය. එක් නමක් ථූපාරාම විහාරයේ ම වාසය කෙළේ ය. පාචීන ඛණ්ඩාරාජී යනු නැගෙනහිර දෙස කඳු අතර පිහිටි වන පෙදෙසකි. එහි ගිය භික්ෂූන් වහන්සේ දසවස් පිරි තෙර නමක් වීමෙන් පසු “මේ පෙදෙස විවේකව වාසය කිරීමට සුදුසු පෙදෙසක් ය. ඒ බව ථූපාරාමයේ වෙසෙන යහළු තෙරුන් වහන්සේටත් දන්වන්නට ඕනෑ ය” යි සිතා අනුරාධපුරය බලා ගියහ.

ථූපාරාමයට පැමිණි කල්හි එහි වෙසන යහළු තෙරුන් වහන්සේ දැක, පෙර ගමන් කොට පාචීන ඛණ්ඩරාජියෙන් ආ තෙරුන් වහන්සේ පිළිගෙන වත් කොට පිළිසඳර කථා කොට වාසය කිරීමට අසුන් පනවා දුන්හ. විහාරයට පිවිසි ආගන්තුක තෙරුන් වහන්සේ “මාගේ යහළු තෙරුන් වහන්සේ මෙහි කලක පටන් වාසය කරන්නකු බැවින් දැන් මට හොඳ ගිලන්පසක් එවනු ඇතැ’යි සිතූහ. එහෙත් ගිලන්පසක් නම් නො ලැබිණ. රාත්‍රියේ ගිලන්පසක් නොලැබූ ඒ තෙරුන් වහන්සේ පසුදින උදයේ, අපට දැන් යහළු තෙරුන් වහන්සේ විසින් උපස්ථායකයන් අත අවුළුපත් හා කැඳ එවනු ඇතැයි සිතූහ. එහෙත් කිසිවක් නො ලැබිණ.

ඉක්බිති තෙරුන් වහන්සේ “උදයට විහාරයට ගෙනෙන කෙනෙක් නම් නැත. ගමට පිවිසි කල්හි ගමේ දී අවුළුපත් හා කැඳ ලැබෙනු ඇතැ’යි සිතා යහළු තෙරුන් වහන්සේ සමග ගමට වැඩියහ. එහෙත් සිතූ සැටියට කිසිවක් නො ලැබිණ. ඒ දෙන ම එක් විථීයක දී කැඳ ස්වල්පයක් ලැබී එක් ආසන ශාලාවක හිඳ එය වැළඳූහ. ඉක්බිති ආගන්තුක තෙරුන් වහන්සේ ‘නිබඳව දෙන කැඳක් නැතත් දවාලට හොඳින් ආහාරයක් ලැබෙනු ඇතැයි’ සිතූහ. ඒ දෙනම දවල් ද පිඬු සිඟා වැඩ ලද සැටියට වැළඳූහ. ඉන් පසු ආගන්තුක තෙරුන් වහන්සේ ස්වාමීනි, “සෑම කල්හි ම යැපෙන්නේ මෙසේදැයි ඇසූහ. අනිත් තෙරුන් වහන්සේ, “ඇවැත්නි, එසේය’ යි කී කල්හි, ‘ස්වාමීනි, පාචීනඛණ්ඩරාජිය මීට වඩා පහසු ය. අපි එහි යමුයි’ ආගන්තුක තෙරුන් වහන්සේ කීහ.

එකල්හි ආවාසික තෙරුන් වහන්සේ නගරයේ දක්ෂිණද්වාරයෙන් නික්ම කුඹල් නම් මඟට වන්හ. ආගන්තුක තෙරුන් වහන්සේ ‘මේ මඟට ආවේ මන්දැයි’ ඇසූහ. ‘ඇවැත්නි, ඔබ පාචීනඛණ්ඩාරාජියෙහි ගුණ කී නිසා ය‘යි කීහ. ‘ස්වාමීනි, ඔබ වහන්සේ මෙපමණ දිගු කලක් විසූ තැන කිසි අතිරේක භාණ්ඩයක් නැද්දැ’යි ඇසූහ. ආවාසික තෙරුන් වහන්සේ කියන්නාහු ‘ඇවැත්නි, එහි ඇඳ පුටු සඟ සතුය. ඒවා සුදුසු සේ තැන්පත් කොට ඇත. මාගේ කිසි අතිරේක පරිෂ්කාරයක් නැතිය ’යි කීහ.

එකල්හි ආගන්තුක තෙරුන් වහන්සේ ‘ස්වාමිනි, මාගේ සැරයටියත්, තෙල් ගුලාවත්, පසුම්බියකුත් එහිය’යි කීහ. ‘ඇවැත්නි, ඔබ එක් රැයක් එහි විසූ පමණින් ඔපමණ බඩු තැබූයෙහි දැ’යි ආවාසික තෙරුන් වහන්සේ කීහ. ‘එසේ ය ’යි කියා ආගන්තුක තෙරුන් වහන්සේ අනික් තෙරුන් වහන්සේට පැහැදී ආවාසික තෙරුන් වහන්සේට වැඳ ‘නුඹ වහන්සේ වැනියන්ට හැම තැනම ආණ්‍යය ය. ථූපාරාමය සිවු බුදුවරයන්වහන්සේගේ ම ධාතු නිධන් කළ තැනක. ධර්මශ්‍රවණය හා චෛත්‍ය දර්ශනයත් ලැබෙන මෙහි ම නුඹ වහන්සේට සුදුසු ය’යි කියා දෙවන දවස්හි පා සිවුරු ගෙන පාචීනඛණ්ඩරාජිය බලා ගියහ.

මෙබඳු පුද්ගලයින්ගේ නෛෂ්ක්‍රම්‍යය උසස් නෛෂ්ක්‍රම්‍යයය. එබඳු පුද්ගලයන් ගමේ සිටියත් නගරයේ සිටියත් රන් රිදියෙන් කළ ප්‍රාසාදයක සිටියත් ඒවායේ නො ඇලී වෙසෙන බැවින් ඔවුහු සෑම කල්හි ම නෛෂ්ක්‍රම්‍යය ඇත්තෝ ය.

නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ ප්‍රභේද

අඹු දරුවන් හා නෑ මිතුරන් ද, ධනය ද අත හැරීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ය. ඒවා හැර ප්‍රව්‍රජ්‍යාව ගත් තැනැත්තා ආහාර පාන වස්ත්‍රාදී කාමවස්තූන් නැතිකම නිසා ඇති වන අමාරුකම් ඉවසිය නො හැකි වීමෙන් සමහර විට නැවතත් කාම වස්තූන් සොයන්නට පටන් ගැනීමෙන් නෛෂ්ක්‍රම්‍යයෙන් පහවෙයි.

බලවත් අධිෂ්ඨාන ශක්තිය හා ඥාන ශක්තිය ඇති ඇතැම් පින්වත්හු සාගින්න පිපාසාව ආදී සුළු කරුණු ගැන තබා ශරීරාවයවයන් රැක ගැනීම නිසාවත් නැවත වස්තු සෙවීමට නො බසිති. ශරීරාවයවයන් රැක ගැනීමේ අදහස ද හැර ඒවා නැසෙතොත් නැසෙන්නට හැර කාමවස්තු නො සොයන කාම වස්තූන්ගෙන් බැහැරව සිටින පින්වතුන්ගේ ඒ නෛෂ්ක්‍රම්‍යයඃ නෛෂ්ක්‍රම්‍ය උප පාරමිතාව ය.

කාම වස්තූන් ගෙන් බැහැරව සිට ජීවිතය රැක ගන්නට නොහැකි තත්ත්වයක් පැමිණියත් ජීවිතය නැති වන්නට හැර කාම වස්තූන් ගෙන් බැහැරව සිටින බලවත් අධිෂ්ඨානය හා ප්‍රඥාව ඇති පින්වතුන්ගේ ඒ නෛෂ්ක්‍රම්‍යය නෛෂ්ක්‍රම්‍ය පරමාර්ථ පාරමිතාව ය.

4.ප්‍රඥා පාරමිතාව

සත්ත්වයෝ ඇසින් ලෝකයේ ඇති වස්තූන් හා සත්ත්වයන් දකිති. කනින් ශබ්දයන් අසති. ඒ දැකීම් ඇසීම් දෙක ද දැනීම් දෙකකි. නාසයෙන් ගන්ධයන් දැන ගනිති. දිවෙන් රස දැන ගනිති. කයින් ශීතෝෂ්ණාදී ස්ප්‍රෂ්ටව්‍යයන් දැන ගනිති. සාගින්න - පිපාසාව - රිදුම - සනීපය දැන ගනිති. වරක් දුටු දෙයක් නැවත දුටු කල්හි එය කලින් දුටු දෙය බව දැන ගනිති. වරක් දුටු දෙයකට සමාන දෙයක් පසුව දුටු කල්හි එය කලින් දුටු දෙයට සමාන දෙයක් බව - ඒ ජාතියේ දෙයක් බව දැන ගනිති.

වචන අසා අර්ථ දැන ගනිති. වස්තූන් දුටු කල්හි ඒවාට කියන නම් දැන ගනිති. වතුරෙන් තෙත් වනු වරක් දුටු කල්හි වතුර තෙත් කරන දෙයක් බව දැන ගනිති. ගින්නෙන් දැවෙනු වරක් දුටු කල්හි ගින්න දැවෙන දෙයක් බව දැන ගනිති. සතුරන් මිතුරන් දැන ගනිති. නෑයන් නො නෑයන් දැන ගනිති. බෙහෙත් දැන ගනිති. ආහාර දැන ගනිති. මනුෂ්‍යයන්ට පමණක් නොව තිරිසනුන්ටත් ඇත්තා වූ මෙ වැනි දැනීම් වලට වඩා උසස් වූ දැනුමක් ද ඇත්තේ ය. “ප්‍රඥාවය” කියනුයේ ඒ දැනුම ය.

මෙය පින ය, මෙය පව ය, මෙය හොඳ ය, මෙය නරක ය, මොහු ගරු කළ යුත්තා ය, මොහු ගරු නො කළ යුත්තා ය, මේ හේතුවෙන් මෙබඳු ඵලයක් ඇති වේ ය, මෙය ඇති වූයේ - සිදු වූයේ අසවල් හේතුවෙන් ය යි දැන ගන්නේ ඒ ප්‍රඥාවෙනි. ස්කන්ධ ආයතන - ධාතු - සත්‍යාදි ගැඹුරු ධර්ම දැන ගන්නේ ද ඒ ප්‍රඥාවෙනි. දහම් පොත්වල නොයෙක් තැන්වල ඤාණ - පඤ්ඤා - විජ්ජා - සම්මාදිට්ඨි යනාදි නොයෙක් නම් වලින් ඒ ප්‍රඥාව දක්වා ඇත්තේ ය.

ලෝකයේ ඇති සියල්ලට ම වඩා උතුම් දෙය ප්‍රඥාව ය. ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද සකලාර්ථයන් ම ප්‍රඥාවෙන් සිදු කර ගත හැකි ය. ඒ උතුම් ප්‍රඥාව මනුෂ්‍යයෝ නොයෙක් අදහස් වලින් සොයති. සම්බෝධිය ද ලෝකෝත්තර ප්‍රඥාව ම ය. ලෝකෝත්තර ප්‍රඥාව වූ ඒ සම්බෝධිය ලැබීම පිණිස, එයට පැමිණෙනු පිණිස ශිල්ප ශාස්ත්‍ර උගෙනීමත්, බුද්ධ ධර්මය උගෙනීමත්, ඥානය ලබනු පිණිස පණ්ඩිතයන් ඇසුරු කිරීමත්, පණ්ඩිතයන්ගෙන් නොදන්නා දේ විමසීමත්, පණ්ඩිතයන් හා සාකච්ඡා කිරීමත්, ප්‍රඥාව ලබනු පිණිස හා ලැබූ ප්‍රඥාව දියුණු තියුණු කර ගැනීම පිණිස භාවනාවෙහි යෙදීමත්, ලබා ගත් ප්‍රඥාවෙන් සම්බුද්ධ ශාසනයාගේ චිරස්ථිතිය පිණිස හා ලොවට වැඩ පිණිස ධර්මය උගැන්වීමත්, ධර්ම දේශනයත්, ධර්ම ග්‍රන්ථ සම්පාදනයත්, තවත් ක්‍රම වලින් ප්‍රඥා බලයෙන් ලොවට යහපත සිදු කිරීමත්, සේනක පණ්ඩිතයන් තමන්ගේ ප්‍රඥා බලයෙන් පසුම්බිය තුළ සිටි සර්පයා දක්වා බ්‍රාහ්මණයා දුකින් මිදෙව්වාක් මෙන් ප්‍රඥා බලයෙන් දුකට පත් වූවන්ට පිහිට වීමත් ප්‍රඥා පාරමිතාව ය.

“කරුණුපාය කොසල්ල පරිග්ගහිතො ධම්මානං සාමඤ්ඤ විසෙසලක්ඛණාවබොධො පඤ්ඤා පාරමිතා” යි චරියා පිටක අටුවාවෙහි කරුණාවෙන් හා උපාය කෞශල්‍යයෙන් ආරක්ෂා කරන ලද ධර්මයන්ගේ සාමාන්‍ය විශේෂ ලක්ෂණාවබෝධය - ප්‍රඥා පාරමිතාව යයි මහා බෝධි පාරමිතාව දක්වා තිබේ. එහි අදහස් කරන ධර්මයෝ නම් චිත්ත - ස්පර්ශ - වේදනාදී පරමාර්ථ ධර්මයෝ ය. ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ නම් වෙනසක් නැතිව සියල්ලෙහි ම ඇති අනිත්‍ය - දුක්ඛ - අනාත්ම යන ලක්ෂණ තුන ය.

විශේෂ ලක්ෂණ නම් ඒ ධර්මයන් ගෙන් එක එකට ම, වෙන වෙන ම ඇත්තා වූ, එකින් එකට වෙනස් වූ ලක්ෂණයෝ ය. ධර්මයන් ගේ සාමාන්‍ය ලක්ෂණ හා විශේෂ ලක්ෂණ දන්නා වූ ඥානය විදර්ශනා ඥානය ය. අනේක ප්‍රකාර ඥානයන් අතුරෙන් සම්බෝධියට ඉතාම ළඟින් උපකාර වන්නා වූ ද, අතිශයින් උපකාර වන්නා වූ ද දෙය විදර්ශනා ඥානය ය. මහ බෝසතාණන් වහන්සේ බුදුවන දින රාත්‍රියෙහි බෝරුක් මුල වැඩ හිඳ කෙළේ ද විදර්ශනා වැඩීමය. සම්‍යක් සම්බෝධියට පැමිණියේ ඒ විදර්ශනා ඥානයේ බලයෙනි. චරියා පිටක අටුවාවෙහි ප්‍රඥා පාරමිතාව වශයෙන් විදර්ශනා ඥානය පමණක් දක්වා තිබෙන්නේ ප්‍රධාන ධර්මය දැක්වීම් වශයෙනි.

“පඤ්ඤාය විචිනන්තොහං බ්‍රාහ්මණං මොචයිං දුඛා
පඤ්ඤාය මෙ සමො නත්ථි එසා මෙ පඤ්ඤා පාරමී”

යනුවෙන් පසුම්බියෙහි සිටි සර්පයා නුවණින් දැක පෙන්නා දී බ්‍රහ්මණයා දුකින් මිදවීම ප්‍රඥා පාරමිතාව බව දක්වා තිබීමෙන් විදර්ශනා ඥානයෙන් අන්‍ය ඥානයන් ද ප්‍රඥා පාරමිතාවට ඇතුළු වන බව දත හැකි ය. චරියා පිටක අටුවාවෙහි මත් අන් තැන්වලත් විදර්ශනා ඥානයෙන් අන්‍ය ප්‍රඥාවන් ද ප්‍රඥා පාරමිතාව වශයෙන් කියා තිබේ.

සිදු කිරීම දුෂ්කර වූ ප්‍රාණඝාත අදත්තාදාන කාම මිථ්‍යාචාරයන් සිදු කිරීමටත්, ඉන් පසු ඒවායින් බේරීමටත්, යුද්ධ කිරීමටත්, වඤ්චා කිරීමටත්, සියුම් දැනුමක් වුවමනා ය. ප්‍රාණඝාතාදි ක්‍රියා අකුශලයෝ ය. කෙසේ උපා යොදා කළත් ඒවා සිදු කිරීමට මෝහය වුවමනාම ය. සැම අකුශල් සිතක් ම මෝහ සහගත ය. මෝහය ප්‍රඥාවට විරුද්ධ ධර්මයකි. ඒ මෝහ - ප්‍රඥා දෙක කිසි කලක එක් නොවේ. එක් සිතක නො යෙදේ. එබැවින් අකුශල විෂයෙහි උපාය දැනීම ප්‍රඥාව නො වන බව දත යුතුය.

අකුශල ක්‍රියා විශයෙහි පවත්නා දැනීමත් ලෝකයා සලකන්නේ නුවණ හෙවත් ප්‍රඥාව ලෙස ය. “සොරාට බ්‍රහස්පතීටත් වඩා නුවණ ඇතය” යන කථාව ඇති වී තිබෙන්නේ එබැවිනි. ලෝභ - දෘෂ්ටි - මෝහ - විතර්ක - විචාර යන චෛතසික පස හා සිත ද අකුශල පක්ෂයේ ප්‍රඥාව සේ පවත්නා බව පොත්වල උගන්වා තිබේ. පාප ක්‍රියා සිදු කිරීමේ දී උපා යෙදීම් වශයෙන් පවත්නේ ඒ ධර්මයන් ය. පව් කම් කරන්නවුන් විසින් නුවණ සැටියට සලකන්නේ ඒ ලෝභාදී ධර්මයන් ය.

මෝඩයන්ට තමන් ගේ හැම මෝඩකමක් ම වැටහෙන්නේ නුවණ සැටියට ය. සාමාන්‍ය ලෝකයාට තම තමන්ට ඇති වැරදි හැඟීම් සියල්ල පෙනෙන්නේ නුවණ සැටියට ය. කාහටත් නොයෙක් විට තම තමන්ගේ සන්තානවල ඇති වන මෝහාදී ධර්ම, ප්‍රඥාව හැටියට ම වැටහේ. එබැවින් සත්‍ය වූ ප්‍රඥාව කෝක ද යන බව නොයෙක් විට දැන ගැනීමට අපහසු වේ. ප්‍රඥා පාරමිතාව පුරන පින්වතා විසින් ප්‍රඥාව හැඳින ගැනීම ගැන ද සැලකිය යුතුය.

කුණ්ඩලකේශීගේ කථාව බොහෝ දෙනාට ප්‍රඥාව වරදවා තේරුම් ගැනීමට කරුණක් වී තිබේ. කුණ්ඩලකේශී ගේ ආභරණ ටික පැහැර ගෙන පර්වතයෙන් පහළට පෙරළා දමා ඇය මරන්නට තැත් කළ සොරා රවටා, ඈ සොරා පර්වතයෙන් පහළට පෙරලා මරා දැම්මාය. ඒ ක්‍රියාව බලා සිටි දෙවියා -

“නසො සබ්බෙසු ඨානෙසු පුරිසො හොති පණ්ඩිතො
ඉත්ථි පි පණ්ඩිතෝ හොති තත්ථ තත්ථ විචක්ඛණා” යි

කුණ්ඩලකේශී ගේ ක්‍රියාව වර්ණනා කෙළේය. ඇය මුලින් කළ වැඳීම හා පුරුෂයා වැළඳ ගැනීමත් මායාව ය. මායා - සාඨෙය්‍ය යන මේවා බුද්ධාගමයේ පව් ලැයිස්තුවට අයත් ඒවා ය. දෙවියා විසින් නුවණ හැටියට සිතුව ද, ඒවාත් මෝහ සහගත ක්‍රියා ම ය. පර්වතයෙන් පෙරළීම ද්වේෂ සහගත සිතින් කරන ලද්දකි. එහි ද මෝහය ඇත්තේ ය. ඒ අවස්ථාවේ දී කුණ්ඩලකේශීට ප්‍රඥාව ඇති වුණා නම්, ඒ පව් කම් එකකුත් ඇය අතින් නො කෙරෙන්නේ ය. ඒ සියල්ල ම සිදු වූයේ ඒ අවස්ථාවේ දී ඇගේ සන්තානයෙහි පාපයේ ආදීනවය මුවහ කරන මෝහය ඥාන රූපයෙන් සිටීමෙනි. මේවා බලා සිටි දේවතාවා ඇයට ස්තුති කෙළේ ද ඔහු සැබෑ ප්‍රඥාව නාඳුනන බැවිනි.

“යෙන කෙනචි වණ්ණෙන මුදුතා දාරුණෙන වා
උද්ධරෙ දීනමත්තානං පච්ඡා ධම්මං සමාචරෙ” යි

පැරණි උපදෙසක් ඇත්තේ ය. දේවතාවාගේ ප්‍රශංසාව එයට අනුව කරන ලද්දක් විය හැකි ය. එය බුද්ධාගමට ගැලපෙන උපදේශයක් නො වේ. උම්මග්ග ජාතකයෙහි, එය “ක්ෂත්‍රීය මායාවකැ”යි කියා තිබේ. මනුෂ්‍යයන් බොහෝ සෙයින් පව් කම් කරන්නේ තමන්ගේ අමාරුකම් පිරිමසා ගැනීමට ය. අමාරුවට පත් වූ කල්හි එයින් මිදීමට පව් කම් නො කිරීම ම ධර්ම චර්‍ය්‍යාවය.

වුවමනාවක් නැති අවස්ථාවක දී කව්රුත් පව් කම් නො කරති. වුවමනා නැති කමට පව් නො කිරීම ධර්ම චර්‍ය්‍යාවක් නො වේ. ධර්ම චර්‍ය්‍යාව නම් පව් කම් කරන්නට වුවමනාව තිබිය දී නො කර හැරිම ය. එබැවින් අමාරුවට පත් වූ අවස්ථාවේ එයින් ගොඩ නැඟීමට පව් කම් කොට, පසුව ධර්මයෙහි හැසිරීමට තැනක් නැත්තේ ය. ධර්මයෙහි හැසිරීමට ඇත්තා වූ ප්‍රධාන ස්ථානය අමාරුවට පත්ව සිටින අවස්ථාව ය. එබැවින් ඉහත කී උපදේශය මායාවක් මිස ධර්මයක් නො වන බව දත යුතුය. ඒ අනුව ක්‍රියා කිරීම මෝඩ කමක් මිස නුවණක්කාර කමක් නොවන බව ද දත යුතු ය.

දැන ගන්නා දෙය “නො වරදවා ඇති සැටියට ම දැනීමත් හැම පැත්තෙන් ම දැනීමත්, ඇතුළ පිට දෙක ම දැන ගැනීම ත්, ඉදිකටු තුඩ සේ ඉතා සියුම් තැනටත් පැමිණ, ඉතා සියුම් දෙය දැන ගැනීමත් ප්‍රඥාවේ ලක්ෂණය යි.

ප්‍රඥා ප්‍රභේද

ප්‍රඥාව හැඳින ගැනීමට ප්‍රඥාවේ උසස් බව තේරුම් ගැනීම හා ප්‍රඥා ප්‍රභේද දැන ගැනීමත් ඉතා ප්‍රයෝජන ය. ප්‍රඥා ප්‍රභේද ඉතා බොහෝ ය. “සොතාවධානෙ පඤ්ඤා සුතමය ඤාණං සුත්වාන සංවරෙ පඤ්ඤා සීලමයෙ ඤාණං, සංවරෙත්වා සම්මා දහනෙ පඤ්ඤා සමාධි භාවනාමයෙ ඤාණං” යනාදීන් පටිසම්භිදා මග්ගයෙහි ප්‍රඥා බොහෝ ගණනක් දක්වා තිබේ. අභිධර්ම විභංග ප්‍රකරණයේ ඤාණ විභංගය යන නාමයෙන් ප්‍රඥා ප්‍රභේද දැක්වෙන පරිච්ඡේදයක් ම ඇත්තේ ය. ඒ සියල්ල මෙහි නො දැක්විය හැකිය. දනු කැමැත්තෝ ඒ පොත්වලින් බලා ගනිත්වා. මෙහි ද ප්‍රඥා ප්‍රභේද කීපයක් දක්වනු ලැබේ.

ලෞකික ලෝකෝත්තර වශයෙන් ප්‍රඥාව දෙ වැදෑරුම් වේ. කාමාවචර රූපාවචර අරූපාවචර සිත්වල ප්‍රඥාව ලෞකික ප්‍රඥාව ය. සතර මාර්ග සතර ඵල චිත්තයන්හි ප්‍රඥාව ලෝකෝත්තර ය. පෙරුම් පිරීමෙන් ලබන - පැමිණෙන සම්බෝධිය ලෝකෝත්තර ප්‍රඥාව ම ය. බුද්ධ ශ්‍රාවකයන් ගේ සතර මාර්ග - සතර ඵල චිත්තයන්හි ප්‍රඥාව ශ්‍රාවක බෝධිය ය. පසේ බුදුවරයන්ගේ සතර මාර්ග සතර ඵල චිත්තයන්හි ප්‍රඥාව ප්‍රත්‍යේක සම්බෝධිය ය. ලොවුතුරා බුදුවරයන්ගේ සතර මාර්ග සතර ඵල චිත්තයන්හි ප්‍රඥාව සම්‍යක් සම්බෝධිය ය. ප්‍රඥා පාරමිතාව වන්නේ ලෞකික ප්‍රඥාව ය. ලෞකික ප්‍රඥාව ද කුශලාව්‍යාකෘත වශයෙන් දෙ පරිදි වේ. ඒ දෙකින් ප්‍රඥා පාරමිතාව වනුයේ කුශල ප්‍රඥාව ය.

“චින්තාමය ප්‍රඥාව ය, ශ්‍රැතමය ප්‍රඥාව ය, භාවනාමය ප්‍රඥාව ය” යි ද ප්‍රඥාව ත්‍රිවිධ වේ. කෙත් වතු වැවීම, ගෘහ නිර්මාණය, නෞකා රථාදී නිර්මාණය, යන්ත්‍ර නිර්මාණය, භාණ්ඩ ආහාර ඖෂධ වස්ත්‍රාදි ප්‍රයෝජනවත් දේ නිර්මාණය කිරීම ය යන කර්මාන්තයන් පිළිබඳව ද වෛද්‍ය නක්ෂස්ත්‍ර ගණිතාදි ශාස්ත්‍ර පිළිබඳව ද, කුශලා කුශලයන් පිළිබඳව ද, ස්කන්ධාදීන්ගේ අනිත්‍යාදිය පිළිබඳව ද, තවත් නිරවද්‍ය දේ පිළිබඳව ද, අනුන් ගෙන් උපදෙස් නො ලබා, තමන් විසින් ම කල්පනා කොට ඇති කර ගන්නා දැනීම චින්තාමය ප්‍රඥාවය. ඒ කරුණු පිළිබඳව අනුන්ගෙන් අසා අනුන් ගෙන් උපදෙස් ලබා ඇති කර ගන්නා වූ ප්‍රඥාව ශ්‍රැතමය ප්‍රඥාවය. භාවනාවෙන් ඇති කර ගන්නා වූ ප්‍රඥාව භාවනාමය ප්‍රඥාව ය.

“ආය කෞශල්‍ය, අපාය කෞශල්‍යය, උපාය කෞශල්‍යය” යි ද ප්‍රඥාව ත්‍රිවිධ වේ. ආය යනු දියුණුවට නමෙකි. එය ද අනර්ථහානි, අනර්ථෝත්පත්ති වශයෙන් දෙ වැදෑරුම් වේ. අනර්ථයන් පැමිණීම දියුණුවට බාධාවෙකි. එබැවින් අනර්ථ නැති බව ද දියුණුවේ එක් අංගයෙකි. ලෝකයෙහි බොහෝ දෙනාට නොයෙක් අනර්ථ පැමිණේ. එහෙත් ඒවා පැමිණීමේ හේතු බොහෝ දෙනා නො දනිති. පැමිණියා වූ ද මතු පැමිණෙන්නට ඇත්තා වූ ද, අනර්ථයන්ගෙන් මිදෙන සැටිත් බොහෝ දෙනා නො දනිති.

දෙලෝ වැඩ සිදු කර ගත හැකි වීමට ත්, සම්බෝධියට පැමිණිය හැකි වීමටත්, “අර්ථය” යි කියනු ලබන දානාදි ක්‍රියා සිදු කර ගැනීමටත්, උපකාර වන ධන ධාන්‍යාදි වස්තුව හා කුශලය පිරිහීමේ හේතුවත් ඒවා වළක්වා ගන්නා සැටිත් දැන ගත යුතුය. වස්තුව වූ ද කුශලය වූ ද අර්ථය ඇති කර ගන්නා සැටිත් දත යුතු ය. අර්ථ හානි, අර්ථෝත්පත්ති යන ඒ කරුණු දෙක පිළිබඳ වූ යහපත් දැනීම - නිවැරදි දැනීම ආයකෞශල්‍ය යන නාමයෙන් කියැවෙන ප්‍රඥාව ය. අපාය යනු පරිහානිය ය. එය අර්ථහානි අනර්ථෝත්පත්ති වශයෙන් දෙ වැදෑරුම් වේ. ඒ දෙක වන සැටිත් වළක්වා ගන්නා සැටිත් දන්නා නුවණ අපාය කෞශල්‍ය නම් වූ ප්‍රඥාව ය. උපාය කෞශල්‍ය යනු හදිස්සියෙන් පැමිණෙන අන්තරාය-යන්ගෙන් මිදීමට හා සිදු කළ යුතු දෑ සිදු කිරීමට ද අවස්ථාවට සුදුසු සේ ඇති වන ප්‍රඥාව ය.

ප්‍රඥාව ඇතිවීමේ හේතු

ප්‍රඥාව ඇති කර ගැනීමට - ප්‍රඥා පාරමිතාව පිරිය හැකි වීමට - ප්‍රඥාව ඇතිවීමේ හේතූන් දැන ගෙන තිබීමත් ප්‍රයෝජනවත් ය. ප්‍රඥාව ඇති වීමට හේතු බොහෝ ය. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති බවය, ප්‍රඥාව පතා කළ පින් ඇති බව ය. හොඳින් වැඩුණු අංග සම්පූර්ණ ශරීරය ඇති බව ය. නිරෝගී බව ය, ප්‍රඥාව ආවරණය කරන අතීත අකුශලකර්ම නැති බව ය, නා නා ශිල්ප - නා නා ශාස්ත්‍ර දන්නා බව ය, ධර්මය දන්නා බව ය, විමසන බව ය, නුවණ මෙහෙයා කළ යුතු කර්මාන්තවල යෙදෙන බව ය, ශාස්ත්‍රීය වැඩ වල යෙදෙන බව ය, දහම් දෙසීම ය, දහම් ඇසීම ය, ගැඹුරු ධර්මය ගැන කල්පනා කිරීම ය, පණ්ඩිතයන් හා සාකච්ඡා කරන බව ය, පණ්ඩිතයන් ඇසුරු කරන බව ය, මෝඩයන් ගෙන් දුරුව වාසය කරන බවය, සමාධිය වැඩීම ය, කෙලෙස් තුනී කර ගැනීම ය, වාසස්ථාන හා ශරීරයත් ඇඳුම් පැළඳුනුත් පිරිසිදුව තබා ගන්නා බව ය, ප්‍රඥාව වැඩෙන බෙහෙත් ආහාර වැළඳීම ය යනාදිය ය.

ප්‍රඥාවට බාධක කරුණු

ප්‍රඥා පාරමිතාව පුරන්නා විසින් ප්‍රඥාවට බාධක කරුණු ද දැන සිටිය යුතු ය. ප්‍රඥාවට බාධක කරුණු සැටියට ප්‍රධාන වශයෙන් කිය යුත්තේ නීවරණය පස ය.

“පඤ්චිමෙ භික්ඛවෙ, ආවරණා නීවරණා චෙතසෝ උපක්කිලෙසා පඤ්ඤාය දුබ්බලීකරණා. කතමෙ පඤ්ච? කාමච්ඡන්දො භික්ඛවේ ආවරණො නීවරණො චෙතසො උපක්කිලෙසො පඤ්ඤාය දුබ්බලීකරණො, ව්‍යාපාදො භික්ඛවෙ, ආවරණො නීවරණො චෙතසො උපක්කිලෙසො පඤ්ඤාය දුබ්බලීකරණො, ථිනමිද්ධං භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො උපක්කිලෙසං පඤ්ඤාය දුබ්බලීකරණං, උද්ධච්ච-කුක්කුච්චං භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො උපක්කිලෙසං පඤ්ඤාය දුබ්බලීකරණං, විචිකිච්ඡා භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො උපක්කිලෙසං පඤ්ඤාය දුබ්බලීකරණං ඉමො ඛො භික්ඛවෙ, පඤ්ච ආවරණා නීවරණා චෙතසො උපක්කිලෙසා පඤ්ඤාය දුබ්බලීකරණා”

(බොජ්ඣංග සංයුත්ත)

යනුවෙන් ඒ බව ප්‍රකාශිත ය. මහණෙනි, සිත වසන්නා වූ කුශල ධර්මයන් වසන්නා වූ සිත පෙළන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෝ පස් දෙන මොවුහුය. කවරහු ද?

මහණෙනි, කාමච්ඡන්දය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක, මහණෙනි, ව්‍යාපාදය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක, මහණෙනි, ථිනමිද්ධය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක, මහණෙනි, උද්ධච්ච කුක්කුච්චය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක. මහණෙනි, විචිකිච්ඡාව සිත වසන්නා වූ කුශලය ආවරණය කරන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක. මහණෙනි, මේ ධර්මයෝ පස් දෙන සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෝ ය යනු එහි තේරුම යි.

නීවරණ පස අතුරෙනුත් කාමච්ඡන්ද, ව්‍යාපාද දෙක වඩාත්ම ප්‍රඥාවට බාධක ය. ඒ දෙක නිසා මෙ ලොවත් මහ දුකට පත්ව මරණින් මතු ද අපා ගත වන්නෝ බොහෝ ය. චරියා පිටක අටුවාවෙහි ප්‍රඥාවට බාධක මෝහයට හේතු වන කරුණු බොහෝ ගණනක් දක්වා තිබේ.

“අරතී, තන්දි, විජම්භිතා, ආලසියං, ගණසංගණිකාරාමතා, නිද්දාසීලතා, අනිච්ඡය සීලතා, ඤාණස්මිං අකුතුහලතා, මිච්ඡාමානො. අපරිපුච්ඡකතා, කායස්ස න සම්මා පරිහාරො, අසමාහිත චිත්තතා, දුප්පඤ්ඤානං පුග්ගලානං සෙවනතා, පඤ්ඤාවන්තානං අපයිරුපාසනා, අත්තපරිභවො, මිච්ඡා විකප්පා, විපරිතාභිනිවෙසො, කායදළ්හි බහුලතා, අසංවෙගසීලතා, පඤ්චනීවරණානි.” මේ චරියාපිටක අටුවාවෙහි සම්මෝහ කාරණයන් දක්වා ඇති ආකාරය ය.

උකටලී බව ය, පමා වෙවී වැඩ කරන බව ය, ඇඟ ඒ මේ අත අඹරවන හිරි අරින ගතිය ය, අලස බව ය, බොහෝ දෙනා හා එක්ව විසීමෙහි ඇලීම ය, බොහෝ නිදන බව ය, ඒ ඒ දෙය විනිශ්චය නො කර ගන්නා ස්වභාවය ය, ඥානයෙහි නො කුහුල් බව ය, (ඤාණස්මිං අකුහුලතා යනු තේරුම් ගැනීම දුෂ්කර ය.) වරදවා සිතා ගැනීම ය, අනුන්ගෙන් නො පිළිවිසින ස්වභාවය ය, ශරීරය මනා කොට පරිහරණය නො කරන බව ය, නොසන්සුන් සිත් ඇති බව ය, නුවණ නැතියන් සේවනය කරන බව ය, නුවණැතියන් කරා නො යන බව ය, තමාට ම අවමන් කර ගන්නා බව ය, වරදවා කල්පනා කිරීම ය, යම් යම් කරුණු වරදවා විනිශ්චය කර ගෙන සිටීම ය, ශාරීරික දාහය අධික බව ය, සංවේග නැති බව ය, පඤ්චනීවරණයෝය යන මොහු චරියා පිටක අටුවාවෙහි දැක්වෙන සම්මෝහ හේතුහු ය.

ප්‍රඥා පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය

ප්‍රඥා පාරමිතාව පිරීමේ උත්සාහය ඇතිවනු පිණිස ප්‍රඥාවෙහි ගුණ මෙනෙහි කළ යුතු ය. ප්‍රඥාවෙහි ගුණ ප්‍රඥාවෙහි අනුසස් බොහෝ ය. ශ්‍රාවක බෝධි - ප්‍රත්‍යේක සම්බෝධි - සම්‍යක් සම්බෝධි යන නම් වලින් කියැවෙන්නේ ලෝකෝත්තර ප්‍රඥා තුනෙකි. ලෞකික ප්‍රඥාව නො වඩා ඒ ලෝකෝත්තර ප්‍රඥාව කවර ආකාරයකින්වත් ඇති කරන්නට නුපුළුවන. ලෝකෝත්තර ප්‍රඥාව ඇති වන්නේ ලෞකික ප්‍රඥාව දියුණු වීමෙන්ය. එ බැවින් ප්‍රඥා පාරමිතාව සම්බෝධියට විශේෂයෙන් ම උපකාරක පාරමිතාව වේ.

ජීවිතයෙන් තොර වූ ශරීරය කිසිවක් කිරීමට සමත් නොවන්නාක් මෙන් ද, විඤ්ඤාණයෙන් තොර වූ චක්ෂුරාදිය දර්ශනාදිය සිදු කිරීමට සමත් නො වන්නාක් මෙන් ද, ප්‍රඥාවෙන් තොර වූ ශ්‍රද්ධාදි ධර්මයෝ දානාදි ක්‍රියා මැනවින් සිදු කිරීමට සමත් නො වෙති. එබැවින් පාරමිතා පූරණයේ දී ප්‍රඥාව ම ප්‍රධාන වේ.

ඥානයෙන් තොරව දෙන දානය මහත්ඵල මහානිසංස නො වන දුබල පිනෙකි. දාන පාරමිතාව වන්නේ නුවණින් යුක්ත වන දාන චේතනාව ය. ධනය පමණක් නොව අඹුදරුවන් ද ශරීරාවයවයන් ද ජීවිතය ද දිය හැකි වන තරමට සිත සාදා ගත හැක්කේ ද ප්‍රඥාව ඇති තැනැත්තාට ය. ප්‍රඥාව හීන තැනැත්තන්ට ශරීරාවයවාදි වස්තූන් දී පසුතැවිලි නො වී නො සිටිය හැකි ය.

මම දෙමි ය අන්‍යයෝ මගෙන් ගෙන ජීවත් වෙති'යි තමා උසස් කොට ප්‍රතිග්‍රාහකයන් පහත් කොට සිතන්නා වූ, දුන් නිසා තමා කියන දෙයකට ප්‍රතිග්‍රාහකයන් අනුකූල විය යුතුය, තමා කියන දෙයක් ඔවුන් විසින් කළ යුතු යි සිතන්නා වූ තැනැත්තා ගේ දානය මානයෙන් කිලිටි වේ. භව භෝග සම්පත් බලාපොරොත්තු වන්නා වූ තැනැත්තාගේ දානය තෘෂ්ණාවෙන් කිලිටි වේ. දානය කිසි ක්ලේශයකින් කිලිටි නො වන ලෙස පරිශුද්ධ දාන පාරමිතාව වන සැටියට දීමනාව කළ හැකි වන්නේ ද නුවණැත්තාට පමණ ය.

ප්‍රඥාව හීන තැනැත්ත ගේ ශීලය ද තෘෂ්ණා මානයන්ගෙන් නොයෙක් විට කිලිටි වේ. “අපි ම සිල්වත්හු ය. අන්‍යයෝ දුශ්ශීලයෝ ය” යි තමන් උසස් කොට අනුන් පහත් කොට සිතන උග්‍ර ශීලවන්තයන්ගේ ශීලය කොතෙක් උග්‍ර වුව ද එය මානයෙන් කිලිටි ය. අරණ්‍යාදියෙහි වෙසෙමින් ඉතා දුකසේ හොඳින් සිල් රක්නා වූ පින්වතුන් විසින් මෙය විශේෂයෙන් සැලකිය යුතු කරුණෙකි. අත්තුක්කංසන, පරවම්භන, තණ්හාදියෙන් නො කිලිටි වන සේ සිල් රැකිය හැක්කේ ද ප්‍රාඥයා හට ය. සත්ත්වයන් බොහෝ ඇලුම් කරන උසස් කොට සලකන කාමයන්ගෙන් නික්මිය හැක්කේ ද නුවණැත්තාට ම ය. ප්‍රඥාවෙන් තොර වූ වීර්‍ය්‍යය ඵල රහිත ය. සැම දෙයක් ම සිදු කළ හැක්කේ ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්‍ය්‍යයෙනි. ඥානයෙන් යුක්ත වීර්‍ය්‍යය ලොව්තුරා බුදු බව ද ලබා දෙන්නේ ය.

ක්ෂාන්ති පාරමිතාව පිරීම් වශයෙන් අනුන් කරන නින්දා පරිභව අලාභ හානි ආදියෙන් ප්‍රයෝජනය ලැබිය හැක්කේ නුවණත්තාට පමණ ය. නුවණ මඳ තැනැත්තේ ඒවා නිසා කෝප වී තමාට ම හානි කර ගන්නේ ය. තමාටත් අනුන්ටත් අනර්ථයක් නොවන සැටියට යහපතක් ම වන සැටියට සැම තන්හි ම සත්‍යය ම පාවිච්චි කොට සත්‍ය පාරමිතාව පිරිය හැක්කේ නුවණැත්තාට ම ය. නුවණ මඳ තැනැත්තේ සමහර විට සත්‍යයෙන් අමාරුවට ද පත් වන්නේ ය.

දානාදි පාරමිතා ප්‍රතිපත්ති පටන් ගෙන කලක දී නො හැර දමා ඒවායේ පිහිටා සිටිය හැක්කේ ද නුවණැත්තාට ම ය. නුවණ මඳ තැනැත්තාට පාරමිතා පූරණයෙහි ස්ථිරව නොපිහිටිය හැකි ය. හිතාහිත මධ්‍යස්ථ සකල සත්ත්වයන් කෙරෙහි වෙනසක් නැතිව මෙත් සිත පැවැත්විය හැකි වන්නේ ද නුවණැත්තාට ම ය. නුවණ මඳ තැනැත්තේ ලාභාලාභාදි ලෝක ධර්මයන් කරණකොට ගෙන විකාරයට පැමිණෙන්නේ ය. ලෝක ධර්මයන් නිසා උඩඟු වීමක් තැවීමක් නැතිව මැදහත් ව විසිය හැක්කේ ද නුවණැත්තාට ම ය. මෙසේ තවත් නොයෙක් ආකාරවලින් ද ප්‍රඥාවෙහි ගුණ මෙනෙහි කළ යුතු ය.

ප්‍රඥා පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය

ප්‍රඥා පාරමිතාව පුරනු කැමති පින්වතුන් විසින් ඉහත දැක් වූ ප්‍රඥාවට බාධක වූ සම්මෝහ හේතූන් ගෙන් හැකි තාක් දුරු විය යුතු ය. ප්‍රඥාවට හේතු වන දෑ සේවනය කළ යුතු ය. සත්ත්වයන් ගේ දියුණුවට යහපතට සැපයට හේතු වන නිරවද්‍ය විද්‍යා ශිල්පයන් උගත යුතු ය. නා නා භාෂා උගත යුතු ය. ස්කන්ධ පස ය, ආයතන දොළස ය, ධාතු අටළොස ය, ඉන්ද්‍රිය දෙවිස්සය, චතුරාර්‍ය්‍ය සත්‍යය ය, ප්‍රතීත්‍ය සමුත්පාදය ය, සතිපට්ඨානාදි බෝධිපාක්ෂික ධර්මයෝ ය යන මේවා උගත යුතු ය. ත්‍රිපිටක ධර්මයන් හැකි තාක් උගත යුතු ය.

භාවනාවෙහි යෙදී පරිකර්ම සමාධි මාත්‍රය හෝ උපදවා ගත යුතු ය. රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගත යුතු ය. පඤ්චාභිඥා උපදවා ගත යුතු ය. නාම රූප ධර්ම පමණක් ඇති බව හා නාම රූප, සත්ත්ව පුද්ගල භාවයෙන් හිස් බවත්, නාම රූපයන්ගෙන් අන්‍ය සත්ත්වයකු පුද්ගලයකු නැති බවත්, තේරුම් කරගෙන දෘෂ්ටි විශුද්ධිය ඇති කර ගත යුතු ය. මේ නාමරූප ධර්මයෝ මේ මේ හේතූන් නිසා ඇති වන්නාහ. ඇති වන්නට කලින් නො තිබුණාහ. ඇති වූ ධර්මයෝ ද සැණෙකින් බිඳී යන්නාහ යි දන්නා කාංක්ෂා විතරණ විශුද්ධිය ඇති කර ගත යුතු ය. සංස්කාරයන්ගේ අනිත්‍ය දුඃඛ අනාත්ම යන ලක්ෂණ තුන දක්නා නුවණ ඇති කර ගත යුතු ය.

සම්මස්සන ඤාණය ය, උදයබ්බයානු පස්සනා ඤාණය ය, භංගානුපස්සනා ඤාණය ය, භයතුපට්ඨාන ඤාණය ය, ආදීනවානුපස්සනා ඤාණය ය, නිබ්බිදානු පස්සනා ඤාණය ය, මුඤ්චිතුකම්‍යතා ඤාණය ය, පටිසංඛානුපස්සනා ඤාණය ය, සංඛාරුපෙක්ඛා ඤාණය ය, සච්චානුලෝමික ඤාණය ය යන විදර්ශනා ඥානයන් ඇති කර ගත යුතු ය.

වර්තමාන භවයේ මඟපල ලබා නිවන් දැකීමට බලාපොරොත්තු නො වන මහා බෝධිසත්ත්ව ප්‍රත්‍යේක බෝධිසත්ත්ව මහා ශ්‍රාවක බෝධිසත්ත්ව වරයන් විසින් පටිපදාඤාණදස්සන විසුද්ධියෙන් විදර්ශනාව නැවැත්විය යුතු ය. ඉන් ඔබ්බට භාවනාව ගෙන ගොස් සෝවාන් මගට පැමිණිය හොත් අනාගතයේ බලාපොරොත්තු වන බෝධිවලට පැමිණිය නොහෙන්නේ ය.

මහා බෝධිසත්ත්වයන් විසින් කරුණාව පෙරදැරි කොට තමන් දැන උගත් විද්‍යා ශිල්පයන්ගෙන් අන්‍යයන්ගේ යහපත පිණිස ද වැඩ කළ යුතු ය. ඒවා අන්‍යයන්ට පුහුණු කර විය යුතු ය. තමන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් අනුන්ට යහපත සිදුකර දිය යුතු ය. තමන් දැන තිබෙන ධර්මයෙන් අන්‍යයන්ට ද මඟ පෙන්විය යුතු ය. ඒ ධර්ම අන්‍යයන්ට ද උගැන්විය යුතු ය. ධ්‍යානාභිඥාවන් හා විදර්ශනා ඥානයන් අන්‍යයන්ට ද ඇති කර දිය යුතු ය. ප්‍රත්‍යෙක බෝධි සත්ත්ව ශ්‍රාවක බෝධිසත්ත්ව වරයන්ට ද තමන්ගේ ඥානයෙන් ලොවට යහපත සිදු කිරීමට වටනේ ය.

ප්‍රඥා පාරමිතාවේ ප්‍රභේද

තමන්ගේ ධන ධාන්‍යාදි වස්තූන් කෙරෙහි හා අඹු දරුවන් කෙරෙහි ද තෘෂ්ණාව දුරු කොට, ප්‍රඥා සම්පාදනය හා තමන්ගේ ප්‍රඥාවෙන් අනුන්ට යහපත සිදු කිරීමත් ප්‍රඥා පාරමිතාව ය. අත් පා ආදි ශරීරාවයවයන් ගැන ආලය හැර, ප්‍රඥා සම්පාදනය හා තමන් ගේ ප්‍රඥාවෙන් ලොවට යහපත සිදු කිරීමත් ප්‍රඥා උප පාරමිතාව ය. තමාගේ ජීවිතය ගැන නො තකා ප්‍රඥාව සම්පාදනය කිරීම හා ප්‍රඥාවෙන් ලොවට යහපත සිදු කිරීමත් ප්‍රඥා පරමාර්ථ පාරමිතාව ය. ප්‍රඥාවෙන් අන්‍යයන්ගේ වස්තුව හා අඹු දරුවන් රැක දීම ප්‍රඥා පාරමිතාව හැටියට ද, අන්‍යයන්ගේ ශරීරාංගයන් රැක දීම ප්‍රඥා උප පාරමිතාව සැටියට ද, අන්‍යයන්ගේ ජීවිතය රැක දීම ප්‍රඥා පරමාර්ථ පාරමිතාව සැටියට ද, කියන්නටත් වටනේය.

තමා ගේ වස්තුව හා අඹු දරුවන් හැර නෑ මිතුරන් හැර ශරීරාවයවයන් ගැනත් ජීවිතය ගැනත් නො තකා ප්‍රඥා සම්පාදනය සඳහා අරණ්‍යාදියට වැද භාවනා කරන යෝගාවචරයා ගේ ඒ ක්‍රියාව ප්‍රඥා පාරමිතාව ද වේ. ප්‍රඥා උප පාරමිතාවද වේ. ප්‍රඥා පරමාර්ථ පාරමිතාවද වේ.

සේනක පණ්ඩිත කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ නුවණින් මරණ භයින් තැති ගෙන තමන් වහන්සේ වෙත පැමිණි බ්‍රාහ්මණයා ගේ පසුම්බිය තුළ සර්පයකු ඇති බව තමන් වහන්සේ නුවණින් දැක, සර්පයා දක්වා බ්‍රාහ්මණයා ගේ දිවි රැක දීම ප්‍රඥා පරමාර්ථ පාරමිතාව බව චරියා පිටක අටුවා ආදියෙහි දක්වා තිබේ. මහෞෂධ පණ්ඩිතයන් විසින් තමන් වහන්සේ ගේ නුවණින් වේදේහ රජු ගේ දිවි රැක දීමත්, තමන් වහන්සේ ගේ ජීවිතය ගැන නොතකා වේදේහ රජු වෙනුවෙන් තමන් වහන්සේ ගේ නුවණ යොදා ක්‍රියා කිරීමත්, දහම් සොඬ රජතුමා විසින් ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය සෙවීමත් ප්‍රඥා පරමාර්ථ පාරමිතාව ය.

මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව සත්තුභත්ත ජාතක, උම්මග්ග ජාතක, සම්භව ජාතක, මහා බෝධි ජාතක, විධුර ජාතක, මහා ගෝවින්ද ජාතකාදියෙන් දැක්විය යුතුය.

5. වීර්‍ය්‍ය පාරමිතාව

තුන්තරා බෝධිය අතුරෙන් එක් බෝධියක් පිණිස පවත්වන දන් දීම්, සිල් ‍රැකීම්, ධුතංග පිරීම්, අනුන්ට යහපත සිදු කිරීම් ආදිය පිළිබඳ වූ ඥාන සම්ප්‍රයුක්ත කුශල වීර්‍ය්‍යය වීර්‍ය්‍ය පාරමිතාව ය.

අකුශල වීර්‍ය්‍යයක් හා අව්‍යාකෘත වීර්‍ය්‍යයක් ද ඇත්තේ ය. ඒවා මෙහි නො ගනු ලැබේ. ඥාන විප්‍රයුක්ත වීර්‍ය්‍යයක් ද ඇත්තේ ය. එය කුශල වුව ද සම්බෝධියට පැමිණවීමට තරම් නො වන බැවින් වීර්‍ය්‍ය පාරමිතාවට ඇතුළු කරනු නො ලැබේ. වීර්‍ය්‍යය අර්ථසාධක වන්නේ ප්‍රඥාවෙන් යුක්ත වූ කල්හි ය. ප්‍රඥා විරහිත වීර්‍ය්‍යය අල්ප ඵල ඇතියකි. නොයෙක් විට නිෂ්ඵල ද වේ. බෝධිපාක්ෂික ධර්ම විෂයෙහි සම්මප්පධාන - විරියිද්ධිපාද - විරියින්ද්‍රිය - විරියබල - විරිය සම්බොජ්ඣංග - සම්මාවායාම යන නම් වලින් දැක්වෙන්නේ ද වීර්‍ය්‍යය ම ය. ලෝකෝත්තර වූ බෝධි පාක්ෂික වීර්‍ය්‍ය ද පාරමිතා වශයෙන් නො ගනු ලැබේ. ශරීර ශක්තියට ද වීර්‍ය්‍යය යි කියනු ලැබේ. මෙහි එය ද නො ගනු ලැබේ.

කුශල කරණයේදී අභිමතාර්ථය සිදුවන තෙක් එය කරගෙන යා නො හැකි වීමට නොයෙක් අමාරුකම් නොයෙක් බාධා පැමිණෙන්නේ ය. තම තමන්ට ඇත්තා වූ දුබලකම් නිසා බොහෝ දෙනා කුශල ක්‍රියා පටන් ගැනීම පවා නො කෙරෙති. සමහරු බොහෝ කල් ගත කොට පටන් ගනිති. පටන් ගත්තවුන්ගෙන් ද, සමහරු මඳක් කොට හැර දමති. සම්බෝධියට පැමිණීම දක්වා නො නවත්වා එය කරගෙන යන්නෝ අල්ප වෙති. කොතෙක් අමාරුකම් ඇත ද කළ යුක්ත පසු නො කොට පටන් ගන්නා වූ ද, පටන් ගත් දෙය අභිමතාර්ථ සිද්ධිය දක්වා නො නවත්වා කර ගෙන යන්නා වූ ද, තැනැත්තා ගේ චිත්ත ශක්තිය මෙහි අදහස් කරන වීර්‍ය්‍යය ය. එය චෛතසික ධර්මයෙකි.

“කරුණුපාය කොසල්ලපරිග්ගහිතො කාය චිත්තෙහි පරහිතාරම්භො වීරිය පාරමිතා” යනුවෙන් චරියාපිටක අ‍ටුවාවෙහි මහා බෝධිසත්ත්වයන්ගේ වීර්‍ය්‍ය පාරමිතාව දක්වා තිබේ. කරුණාවෙන් හා උපාය කෞශල්‍යයෙන් පරිගෘහිත පරහිතසාධක වීර්‍ය්‍යය: වීර්‍ය්‍ය පාරමිතාවය යනු එහි තේරුම යි. මේ පාඨයෙන් දැක්වෙන්නේ වීර්‍ය්‍ය පාරමිතාව අසම්පූර්ණ වශයෙනි. ඒ බව චරියා පිටක අ‍ටුවාවෙහි දැක්වෙන වීර්‍ය්‍ය පාරමිතා ප්‍රතිපත්ති ක්‍රමයෙන් ම දත හැකි ය.

වීර්‍ය්‍යය ද අනේකාකාර වේ. “කාමං තචො ච නහාරූ ච අට්ඨි ච අවසිස්සතු, උපසුස්සතු සරීරෙ මංස ලොහිතා, යං තං පුරිස ථාමෙන පුරිස පරක්කමෙන පත්තබ්බං න තං අප්පත්වා විරියස්ස සංඨානං භවිස්සති” යනුවෙන් දැක්වෙන්නේ “සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා, ලේ මස් වියළී යතොත් වියලී යේවා, පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ බලයෙන් යමකට පැමිණිය යුතු ද එයට නො පැමිණ කාර්‍ය්‍යය නො නවත්වමි” ය යන චතුරංග සමන්වාගත වීර්‍ය්‍යය යි. එය උසස් ම වීර්‍ය්‍ය ය. මන්දෝත්සාහයෙන් මන්ද වීර්‍ය්‍යයෙන් ලැබිය හැකි වන්නේ සුළු දේවල් ය. උසස් උසස් දේවල් ලැබීමට උසස් වීර්‍ය්‍යයක් ම තිබිය යුතු ය. ලොවුතුරා බුදු බවට වඩා උසස් දෙයක් නැත. එය ලැබීමට ඉතා මහත් වීර්‍ය්‍යයක් වුවමනා ය. පසේ බුදු බව හා රහත් බවත් ඉතා උසස් ඒවා ය.

“පථව්‍යා එකරජ්ජෙන සග්ගස්ස ගමනෙන වා:

සබ්බලොකාධිපච්චෙන සොතාපත්ති ඵලං වරං”

යනුවෙන් සක්විති රජකමට ද වඩා ස්වර්ගයට යාමට ද වඩා, මුළු ලොවට ම අධිපති කමට වඩා, සෝවාන් ඵලය උතුම් බව වදාරා තිබේ. සෝවාන් ඵලය එපමණ උතුම් වන කල්හි රහත් බැව්හි පසේ බුදු බැව්හි උතුම් බව කියනුම කිම? උත්තම වූ ඒ බෝධීන්ට පැමිණීමට උසස් වීර්‍ය්‍යයක් තිබිය යුතු ම ය.

වීර්‍ය්‍ය පාරමිතාව පුරන පින්වතුන් විසින් වීර්‍ය්‍ය ඇතිවීමේ හේතු දත යුතු ය. කුසීත් වස්තු අට දත යුතු ය. ආරම්භ වස්තු අට දත යුතු ය. වීර්‍ය්‍යයට ප්‍රතිපක්ෂ ධර්ම හා ඒවා ඇතිවීමේ හේතු දත යුතු ය.

වීර්‍ය්‍ය ඇතිවීමේ හේතු එකොළොස

“එකාදස ධම්මා විරිය සම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති, අපායභය පච්චචෙක්ඛණතා, ආනිසංස දස්සාවිතා, ගමනවිථි පච්චචෙක්ඛණතා, පිණ්ඩපාතාපචායනතා, දායජ්ජමහත්ත පච්ච-චෙක්ඛණතා සත්‍ථු මහත්ත පච්චචෙක්ඛණතා, ජාති මහත්ත පච්චචෙක්ඛණතා, සබ්‍රහ්මචාරිමහත්ත පච්චචෙක්ඛණතා, කුසීතපුග්ගල පරිවජ්ජනතා, ආරද්ධවිරිය පුග්ගල සෙවනතා, තදධි මුත්තතාති.”

මෙයින් විරිය සම්බොජ්ඣංගයට හේතු එකොළොසක් දැක් වේ. විරිය සම්බොජ්ඣංගය යනු ද වීර්‍ය්‍යය ම ය. මෙය දැක්වෙන්නේ පැවිද්දන්ගේ වශයෙනි.

1. අපාය භය සිහි කරන බව ය.

2. වීර්‍ය්‍යයෙහි අනුසස් දක්නා බව ය.

3. බුද්ධාදි උත්තමයන් වහන්සේලාගේ ගමන් මාර්ගය මෙනෙහි කරන බව ය.

4. අනුන්ගෙන් ලබන භෝජනය ගැන සලකන බව ය.

5. තමා ගේ උරුමයේ මහත් බව මෙනෙහි කරන බව ය.

6. තමා ගේ ශාස්තෘවරයා ගේ මහත් බව මෙනෙහි කරන බව ය.

7. ජාතියේ මහත් බව ප්‍රත්‍යවේක්ෂා කරන බව ය.

8. සබ්‍රහ්මචාරීන් ගේ මහත්බව ප්‍රත්‍යවේක්ෂා කරන බව ය.

9. අලස පුඟුලන් බැහැර කරන බව ය.

10. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇතියන් සේවනය කරන බවය.

11. වීර්‍ය්‍යය ඇති කර ගැනීමට නැමුණු සිත් ඇති බව ය.

යන මේ කරුණු එකොළොස විරිය සම්බොජ්ඣංග හේතූන් සැටියට අ‍ටුවාවල දක්වා තිබේ. අප විසින් සම්පාදිත “බෝධි පාක්ෂික ධර්ම විස්තරයේ” මේවා විස්තර කර ඇත.

කුසීත වස්තු අට

“අට්ඨිමානි භික්ඛවෙ, කුසීත වත්ථූනි, කතමානි අට්ඨ? ඉධ භික්ඛවෙ භික්ඛුනා කම්මං කාතබ්බං හොති” යනාදීන් අංගුත්තර නිකාය අට්ඨක නිපාතයෙහි කුසීත වස්තු අට දේශිත ය. එද භික්ෂූන් ගේ වශයෙන් දේශනය කරන ලද්දකි. ඒ මෙසේ ය:

1) වැඩක් කරන්නට තිබෙන කල්හි මට වැඩක් කරන්නට ඇත්තේ ය. වැඩ කිරීමේ දී මට වෙහෙසෙන්නට සිදු වන්නේ ය. වෙහෙසෙන්නට ඇති නිසා දැන් නිදන්නට ඕනෑ ය යි නො පැමිණියා වූ මාර්‍ග ඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යයෙන් භාවනාවෙහි නො යෙදී නිදා ගැනීම පළමුවන කුසීත වස්තුව ය.

2) යම් කිසි වැඩක් කොට වෙහෙසුණු පසු මම දැන් වෙහෙසී සිටිමියි නො පැමිණියා වූ මාර්‍ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යයෙන් භාවනාවෙහි නො යෙදී නිදා ගැනීම දෙවන කුසීත වස්තුව ය.

3) ගමනක් යන්නට ඇති කල්හි ගමනක් යන්නට තිබේයයි නො පැමිණියා වූ මාර්‍ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍යගයෙන් භාවනාවෙහි නො යෙදී නිදා ගැනීම තුන්වන කුසීත වස්තුව ය.

4) ගමනක් ගොස් ආපසු අවුත් දැන් මම වෙහෙසී සිටිමි යි නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යය නො කොට නිදා ගැනීම සතරවන කුසීත වස්තුව ය.

5) වැළඳීමට සෑහෙන පමණ ආහාරයක් නොලත් කල්හි අද මම සෑහෙන පමණට ආහාර නො ලදමි. අද මගේ කයට ශක්තිය නැතය යි නො ලැබූ මාර්‍ගඵලාදියට පැමිණීමට වෙර නො වඩා නිදා ගැනීම පස්වන කුසීත වස්තුව ය.

6) සෑහෙන පමණට ආහාර ගත් පසු අහර වැළඳූ මේ වේලාවෙහි මාගේ කය බර ය. අකර්මණ්‍ය යි නොපැමිණි මාර්‍ගඵලාදියට පැමිණෙනු සඳහා වෙර නො වඩා නිදා ගැනීම සවන කුසීත වස්තුව ය.

7) මඳ රෝගයක් ඇති වූ කල්හි දැන් මට සනීපයක් නැත යි නො පැමිණියා වූ මාර්‍ගඵලාදියට පැමිණීමට වෙර නො වඩා නිදා ගැනීම සත් වන කුසීත වස්තුව ය.

8) හටගත් රෝගය සුව වූ කල්හි සනීප වූ හැටියේ ම මට වැඩ නො කළ හැකි ය. තව ම මම දුබල වෙමිය යි මාර්‍ගඵලාදියට පැමිණෙනු සඳහා වෙර නො වඩා නිදා ගැනීම අටවන කුසීත වස්තුව ය.

ආරම්භ වස්තු අට

1) වැඩක් කළයුතුව තිබෙන කල්හි මට වැඩක් කරන්නට ඇත්තේ ය. වැඩ පටන් ගත් කල්හි මට බුදුන් වහන්සේගේ අනුශාසනය මෙනෙහි කිරීම පහසු නො වන්නේ ය. මා විසින් දැන් දැන් ම නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කළ යුතු ය යි නො පැමිණියා වූ මාර්‍ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කිරීම පළමු වන ආරම්භ වස්තුව ය.

2) වැඩක් කොට අවසන් වූ කල්හි වැඩ කිරීමේ දී මා හට බුදුන් වහන්සේ ගේ අනුශාසනය මෙනෙහි කරන්නට නො ලැබිණ, ඒ පාඩුව පිරිමැසෙන්නට දැන් නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කරමි යි නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යය කිරීම දෙවන ආරම්භ වස්තුව ය.

3) ගමනක් යන්නට ඇති කල්හි ගමන් යාමේ දී මා හට බුදුන් වහන්සේ ගේ අනුශාසනය මෙනෙහි කිරීම පහසු නො වන්නේ ය. දැන් දැන් ම මා විසින් නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කළ යුතු යි සිතා නො පැමිණි ධර්මයනට පැමිණෙනු සඳහා වීර්‍ය්‍ය කිරීම තුන් වන ආරම්භ වස්තුව ය.

4) ගමනක් ගොස් නිම කළ කල්හි ගමන යෑමේ දී මා හට බුදුන් වහන්සේ ගේ අනුශාසනය මෙනෙහි කරන්නට නො ලැබිණ. දැන් මා විසින් නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කළ යුතු ය යි නො පැමිණි මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කිරීම සතර වන ආරම්භ වස්තුව ය.

5) රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ ආහාරයක් සෑහෙන පමණට නො ලත් කල්හි සෑහෙන පමණට ආහාරයක් නො ලැබුණත් තව ම මාගේ කය සැහැල්ලුය, කර්මණ්‍යය, කය දුබල වී බැරිවන්නට කලින් මා විසින් නො පැමිණි මාර්ගඵලාදියට පැමිණෙනු සඳහා වීර්‍ය්‍ය කළ යුතු ය යි නො පැමිණි ධර්මයනට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කිරීම පස්වන ආරම්භ වස්තුව ය.

6) රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ ආහාරයක් සෑහෙන පමණට ලත් කල්හි දැන් මාගේ ශරීරය ශක්තිමත් ය. මේ වේලාවේදී මා විසින් නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කළ යුතුය’යි වීර්‍ය්‍ය කිරීම සවන ආරම්භ වස්තුව ය.

7) සුළු රෝගයක් හටගත් කල්හි මේ රෝගය වර්ධනය වුවහොත් මා හට බුදුන් වහන්සේ ගේ අනුශාසනය මෙනෙහි කරන්නට නො ලැබෙන්නේ ය යි නො පැමිණියා වූ මාර්ග ඵලාදියට පැමිණෙනු සඳහා වීර්‍ය්‍ය කිරීම සත්වන ආරම්භ වස්තුව ය.

8) රෝගාතුර වී සුව වූ කල්හි මා හට රෝගාතුර වී සිටි කාලයේ දී බුදුන් වහන්සේගේ අනුශාසනය මෙනෙහි කරන්නට නොලැබිණැයි නො පැමිණි මාර්ගඵලාදියට පැමිණෙනු සඳහා වෙර වැඩීම අටවන ආරම්භ වස්තුව ය.

වීර්‍ය්‍යයට ප්‍රතිපක්ෂ ධර්ම හා ඒවා ඇතිවීමේ හේතු

වීර්‍ය්‍යයට කෙළින් ම ප්‍රතිපක්ෂ ධර්මයෝ නම් ස්ත්‍යාන මිද්ධ දෙකය. ස්ත්‍යාන මිද්ධ දෙක නැගී සිටින්නා වූ තැනැත්තා ගේ සන්තානයෙන් වීර්‍ය්‍යය බැහැර වන්නේ ය.

“අත්ථි භික්ඛවෙ, අරති තන්දි විජම්භිතා භත්තසම්මදො චෙතසො ලීනත්තං, තත්ථ අයොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්‍යොභාවාය” යනුවෙන් කුශල ක්‍රියාවෙහි නො සතු‍ටු බව වූ අරතිය ය, අලස බව ය, ඇඟ පණ නැති බව ය, බත් මත ය, සිත හැකිළෙන බව ය යන මේ කරුණු ගැන අයෝනිසෝ මනස්කාරය බහුල බව ස්ත්‍යාන මිද්ධයන් ගේ ආහාරය හෙවත් උප්පත්ති හේතුව බව වදාරා තිබේ.

ස්ත්‍යාන මිද්ධයන් නුපදීමේ නො වැඩීමේ දුරු වීමේ හේතු

ථීනමිද්ධයන් නූපදීමේ නො වැඩීමේ දුරු වීමේ හේතු වශයෙන් දැක්වෙන කරුණු වීර්‍ය්‍ය හේතු වශයෙන් ද සැලකිය යුතුය.

“අත්ථි භික්ඛවෙ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු තත්ථ යොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස අනුප්පාදාය, උප්පනස්ස වා ථිනමිද්ධස්ස න භිය්‍යො භාවාය න වෙඵුල්ලාය.”

යනුවෙන් ථිනමිද්ධය නූපදීමේ නො වැඩීමේ හේතු දක්වා තිබේ. ආරම්භ ධාතුව ය, නික්කම ධාතුව ය, පරක්කම ධාතුව ය යන ත්‍රිවිධ වූ වීර්‍ය්‍යය පිළිබඳව යෝනිසෝ මනස්කාරය බහුල කොට පැවැත්වීම ථිනමිද්ධයන් නූපදීමේ ද උපන් ථිනමිද්ධයන් නො වැඩීමේ ද හේතුව බව එයින් දැක්විණ.

ආරම්භධාතු යනු යම් කිසි කටයුත්තක් පළමුවෙන් පටන් ගන්නා වීර්‍ය්‍යය ය. පටන් ගත් කටයුත්ත නො නවත්වා කර ගෙන යන්නා වූ ආරම්භ ධාතුවට වඩා බලවත් වූ වීර්‍ය්‍යය කුසීත භාවයෙන් නික්මුණු බැවින් නික්කම ධාතු නමි, පැමිණෙන පැමිණෙන හැම උවදුරක් ම මැඩ පවත්වා ගෙන අභිමතාර්ථ සිද්ධිය තෙක් ඉදිරියට යන බලවත් වීර්‍ය්‍යය පරක්කම ධාතු නමි.

ථිනමිද්ධයන් දුරු වීමේ හේතු සය

“අපි ච ඡ ධම්මා ථිනමිද්ධස්ස පහානාය සංවත්තන්ති, අතිභොජනෙ නිමිත්තග්ගාහො, ඉරියාපථ සම්පරිවත්තනතා, ආලොකසඤ්ඤා මනසිකාරො, අබ්භොකාස වාසො, කල්‍යාණමිත්තතා, සප්පායකථාති.”

යනුවෙන් ථිනමිද්ධය දුරු වීමේ හේතු සයක් දක්වා තිබේ. පමණට වඩා ආහාර වැළඳීමෙන් වැළකීම ය, ඉරියව් වෙනස් කිරීම ය, ආලෝකය මෙනෙහි කිරීම ය, එළිමහනෙහි විසීම ය, කල්‍යාණ මිත්‍ර සේවනය ය, සත්ප්‍රාය කථාය යන මේ සය ථිනමිද්ධය හෙවත් අලස බව දුරු වීමේ හේතු ය.

දානවල දී බොහෝ අනුභව කිරීමෙන් දායකයනට පින් වැඩි වේය යන හැඟීම ඇති බමුණෝ වෙති. ඔවුහු ඒ නිසා බොහෝ අනුභව කෙරෙති. ඇතැම් බමුණෙක් දානවල දී නැගිටින්නට බැරිවන තුරු බත් අනුභව කෙරෙති. අහර ගත් පසු අනුන් විසින් අතින් අල්ලා නැගිට විය යුතු ඒ බමුණෝ “ආහාර හත්ථක” නම් වෙති. ඇතැම් බමුණෙක් බඩ කට පුරා කා ඒවා වමාරා දමා නැවතත් අනුභව කෙරෙති. ඔවුහු “භුත්තවමිතක” නම් වෙති. ඇතැම් බමුණෙක් නැගිටින්නට බැරිවන තෙක් කා එතැන ම පෙරලෙති. ඔවුහු “තත්ථවට්ටක” නම් වෙති. ඇතැම් බමුණෙක් හිණ වතක් තබා ගන්නට නො හැකි වන තෙක් අනුභව කෙරෙති. ඔවුහු “අලංසාටක” නම් වෙති. ඇතැම් බමුණෙක් උගුර තෙක් කුස පිරී සිටින සැටියට අනුභව කෙරෙති. කට ඇරියහොත් ඔවුන් ගේ උගුරෙන් කවුඩකුට හොට දමා බත් ගත හැකි ය. ඔවුහු “කාකමාසක” නම් වෙති.

ආහාරහත්ථකාදී බමුණන් මෙන් දායකයන්ට පින් සිදු කිරීමේ අදහසින් හෝ වඩාත් ඇඟ සනීප කර ගැනීමේ අදහසින් හෝ රස තෘෂ්ණාව නිසා හෝ පමණට වඩා ආහාරය ගත් කල්හි ථිනමිද්ධය හෙවත් අලස බව හිස ඔසවන්නට නුපුළුවන් වන සැටියට එන්නේ ය. පමණට වඩා ආහාරානුභවය නොයෙක් රෝගයන්ට ද හේතු වේ.

“චත්තාරෝ පඤ්ච ආලොපෙ අභූත්වා උදකං පිවෙ,

අලං ඵාසු විහාරය පහිතත්තස්ස භික්ඛුනො”

යනුවෙන් දැක්වෙන පරිදි බඩට අල්ලන ප්‍රමාණයෙන් බත් පිඬු සතරක් පසක් අඩු කොට අහර වළඳා පැන් පානය කරන තැනැත්තාට නිරෝගී බවත්, වීර්‍ය්‍යයත් ඇති වේ.

වීර්‍ය්‍යය පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය

ආහාර පානවස්ත්‍රාදී ජීවත් වීමට වුවමනා උපකරණ සපයා ගෙන, සොරකම් නො කොට, අනුන්ගෙන් නො ඉල්ලා ලෝකයෙහි නියම මිනිසකු සැටියට ජීවත් වීමට පවා, වීර්‍ය්‍ය නැත්‍තෝ සමත් නො වෙති. නො පසු බස්නා වීර්‍ය්‍යය ඇති වෙහෙස ගණන් නො ගන්නා වූ වීර පුරුෂයනට නො පැමිණිය හැකි නො ලැබිය හැකි සැපතක් නැත.

වීර්‍ය්‍යයේ බලයෙන් මහ දුක්වලින් මහ විපත්වලින් මනුෂ්‍යයෝ මිදෙති. වීර්‍ය්‍ය බලයෙන් දිළින්දෝ පොහොසත් වෙති. අපණ්ඩිතයෝ පණ්ඩිත වෙති. ඇතැම්හු රජ වෙති. ඇතැම්හු ඇමති වෙති. ඇතැම්හු සෙන්පති වෙති. මනුෂ්‍යයෝ වීර්‍ය්‍ය බලයෙන් තවත් නොයෙක් තත්ත්වයන්ට පැමිණෙති. වීර්‍ය්‍ය බලයෙන් මිනිස්සු දේවත්වයට ද බ්‍රහ්මත්වයට ද පත් වෙති. පෘථග්ජනයෝ වීර්‍ය්‍ය බලයෙන් ම රහත් බවට ද, පසේ බුදු බවට ද, ලොව්තුරා බුදු බවට ද පැමිණෙති. රජතුමා මිස රොඩී කොලුවා රජ වන්නට නො සිතන්නාක් මෙන් වීර්‍ය්‍ය වන්තයා මිස අලසයා ලොවුතුරා බුදු වන්නට, පසේ බුදු වන්නට, රහත් වන්නට නො සිතන්නේ ය. තමා දුකින් මිදීමටත්, නිවන් සැපතට පැමිණීමටත් නො සිතන්නා වූ අලසයා ලොවුතුරා බුදුබවට පැමිණ සියලු සතුන් දුකින් මිදවීමට කෙසේ සිතා ද? නො සිතා ම ය. අලස බව මහා නපුරෙකි. අලසයෝ උසස් බවට කිසි කලෙක නො පැමිණෙති. ඔවුහු ඒ අලස බව නිසා ලබා තිබෙන යස ඉසුරෙන් ද පිරිහෙති.

සත්ත්ව සන්තානයෙහි රාගාදී ක්ලේශයෝ මතැතුන් සේ නැඟ එති. ඒවාට වසඟ වන සත්ත්වයෝ නොයෙක් පව් කම් කරති. කෙලෙස් වඩා අන්‍යයන් පව් කම්වල යොදවන්නා වූ ද, සුසිරිතෙන් බැහැර කරවන්නා වූ ද පාප මිත්‍රයෝ සත්ත්වයා වටේ පිරී සිටිති. ඔවුන් ගෙන් බේරී නිවන් මග ගමන් කිරීමට ඇත්තා වූ ආරක්ෂාවත්, ඔවුන් මැඬලීමට ඇත්තා වූ එක ම ආයුධයත් වීර්‍ය්‍යය ම ය. මෙසේ නා නා ආකාරයෙන් වීර්ය්‍යයේ අනුසස් මෙනෙහි කළ යුතු ය. අලස බැව්හි දොස් මෙනෙහි කළ යුතු ය.

ඉහත දැක්වුණු වීර්‍ය්‍යය ඇති වීමේ හේතු ද, කුසීත වස්තු අට ද, ආරම්භ වස්තු අට ද, වීර්‍ය්‍යයට ප්‍රතිපක්ෂ ධර්ම ද, ඒවා ඇති වීමේ හේතු ද, ඒවා නැති වීමේ හේතු ද මෙනෙහි කළ යුතු ය. වීර්‍ය්‍යය ඇතියන් ගේ චරිත මෙනෙහි කළ යුතු ය. මතු දැක්වෙන ධර්ම පද ද වීර්‍ය්‍යය ඇති වීම සඳහා මෙනෙහි කිරීමට සුදුසු ය.

“අජ්ජෙව කිච්චං ආතප්පං

කො ජඤ්ඤා මරණං සුවෙ,

නහි නො සංගරං තෙන

මහා සෙනෙන මච්චුනා”

කළ යුත්ත අද ම කළ යුතු ය. සෙට වන මරණය කවරෙක් දනී ද? මහා සේනා ඇති ඒ මාරයා ගේ අප හා පොරොන්දුවක් නැත.

“සබ්බරත්තිං සුපිත්වාන දිවා සංගණිකෙ රතො

කදස්සු නාම දුම්මේධො දුක්ඛස්සන්තං කරිස්සති“

මුළු රාත්‍රිය නිදා ගෙන දවල් අන්‍යයන් හා එක්ව කථා කිරීමෙහි ඇලුනා වූ නුවණ නැති තැනැත්තා කවදා දුක් කෙලවර කෙරේ ද?

“යො පුබ්බේ කරණියානි පච්ඡා සො කාතුමිච්ඡති.

සුඛා සො ධංසතෙ ඨානා පච්ඡා ච අනුතප්පති”

යමෙක් පළමු කළ යුත්ත පසුව කරන්නට කැමති වේද, හෙතෙමේ සැපයෙන් පිරිහෙන්නේ ය. මතු තැවෙන්නේ ය.

“ආරහථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ,

ධූනාථ මච්චුනො සෙනං නළාගාරං ව කුඤ්ජරො.”

වීර්‍ය්‍ය කරව්, අලස බව දුරු කරව්, බුදු සස්නෙහි පිළිවෙත් පිරීමෙහි යෙදෙව්. ඇතා බටලී ගෙය පොඩිකර දමන්නාක් මෙන් මාර සේනාව මඩිව්.

“පරිත්තං දාරු මාරුය්හ යථා සීදෙ මහණ්ණවෙ

එවං කුසීත මාගම්ම සාධු ජිවිපි සීදති

තස්මා න පරිවජ්ජෙය්‍ය කුසීතං හීන විරියං”

මහ සයුරේදී පිහිට පිණිස කුඩා දර කඩකට නැගුණු තැනැත්තා යම් සේ මහ සයුරෙහි ම ගැලේ ද, එමෙන් අලසයා නිසා ඔහු ඇසුරු කරන තැනැත්තා ද, පිරිහීම් සයුරෙහි ගැලේ. එබැවින් අලසයා දුරු කරන්නේ ය. ඔහු ඇසුරු නො කරන්නේ ය.

වීර්‍ය්‍යය ඇති කර ගැනීමට මෙනෙහි කළයුතු චරිත

මහා සීව තෙරුන් වහන්සේ

මහා සීව තෙරුන් වහන්සේ බුදු සස්නෙහි අති ප්‍රසිද්ධ මහා පඬිවරයෙකි. බොහෝ භික්ෂූහු උන්වහන්සේ ගෙන් උගෙනීම සඳහා පැමිණෙති. රෑ දවල් දෙක්හි ම උන්වහන්සේ භික්ෂුන්ට උගැන්වූහ. උන්වහන්සේ ගේ අවවාදයෙහි පිහිටා රහත් වූ භික්ෂූහු තිස් දහසක් පමණ වූහ. එහෙත් උන්වහන්සේ පෘථග්ජනව ම විසූහ.

දිනක් රහත් වූ ගෝල නමක් විසින් සංවේගයට පමුණුවන ලදුව උන්වහන්සේ රහත් වන්නට සිතා පිරිසෙන් බැහැරව ‘ගාමන්ත පබ්හාර’ නම් ගුහාවට වැඩියහ. “මා වැනියකුට රහත් වීම කවර බරෙක් ද? දෙතුන් දිනකින් ම රහත් ව ආපසු එමි.’යි උන්වහන්සේ සිතූහ. උන්වහන්සේ එහි වැඩියේ ඇසළ මස පුර තෙළෙස්වක දිනයක ය. පසළොස්වක් පොහෝ දින පැමිණෙන තුරු එහි භාවනාවෙහි යෙදුණ නමුත් උන්වහන්සේ රහත් නොවූහ. ඉක්බිති උන්වහන්සේ අවපෑළවිය දිනයෙහි එහි ම වස් ඉටා ගෙන වස් තෙමස මුළුල්ලෙහි භාවනා කළහ. එහෙත් රහත් නොවූහ.

දෙතුන් දිනකින් රහත් වන්නට සිතා ආ උන්වහන්සේට තෙමසකිනුත් බැරිවීම නිසා පවාරණ දිනයෙහි ඇස්වලින් කදුළු වැගිරිණ. එහෙත් උන්වහන්සේ මඳකුදු වීර්‍ය්‍යය ලිහිල් නො කළ සේක. උන්වහන්සේ වීර්‍ය්‍යය තවත් දැඩි කර ගත්හ. සතර ඉරියව්වෙන් කල් යවා තමන් වහන්සේට රහත් වන්නට නුපුළුවනැයි සිතා උන්වහන්සේ ඇඳ ඔසොවා පසෙක තබා රහත් වන තුරු නො නිදමි ය, පානො සෝදමිය යි ඉටා භාවනාවට පටන් ගත්හ. එසේ ද වර්ෂයක් ඉක්ම ගියේ ය. එහෙත් රහත් නො වූහ. එසේ නො නිදා පා නො සෝදා භාවනා කිරීමෙන් ම දෙවන, තුන්වන අවුරුදු ද ඉක්මිණ. තෙරුන් වහන්සේ තවමත් රහත් නො විය හැකි වූහ.

කල්යාමෙන් උන්වහන්සේගේ පතුල් පැලෙන්නට විය. ගම් දරුවෝ ක‍ටු වලින් උන්වහන්සේ ගේ පාදයන්හි පැලුම් මැසූහ. මෙසේ වීර්‍ය්‍ය කරන්නා වූ උන්වහන්සේට තිස් වන වස ද ඉක්ම ගියේය. තිස් වන වසේ මහා පවාරණ දිනයේ දී “තිස් වසක් වීර්‍ය්‍ය කොට ද මට රහත් නො විය හැකි විය. මට මේ අත් බැව්හි මාර්ගයක් ඵලයක් උපදවා ගැනීමේ භාග්‍යයක් නැත. මට විශුද්ධි පවාරණය කරන්නට මේ අත් බැව්හි නො ලැබෙන්නේ ය.” යනාදිය සිතන්නා වූ උන්වහන්සේ ගේ නෙත්වලින් කඳුළු වැගිරෙන්නට විය. එකල්හි එක් දෙව් දුවක් විසින් උත්සාහවත් කරවන ලදුව නැවතත් උත්සාහ කළ පසු උන්වහන්සේ සව් කෙලෙසුන් නසා රහත් වූහ.

චක්ඛුපාල තෙරුන් වහන්සේ

චක්ඛුපාල තෙරුන් වහන්සේ කමටහන් ගෙන භික්ෂූන් වහන්සේ සැට නමක් ද සමඟ ප්‍රත්‍යන්ත ප්‍රදේශයක වස් එළඹ නො නිදා ම මහණ දම් පුරන්නට පටන් ගත්හ. පළමු වන මස ඉක්මුණු පසු උන්වහන්සේ නොපසු බැස්සාහ. නො නිදා ප්‍රතිකාර කිරීමෙන් ඒ රෝගය සුව කළ නො හෙන බව වෛද්‍යවරයා ද කීය. එහෙත් උන්වහන්සේ වීර්‍ය්‍යය නො හළ සේක. ඇසට වෙන දෙයක් වේවා යි නො නිදා ම විදර්ශනා කළහ. වස් තුන් මස අවසානයේ දි ඒ වීර්යයෙන් උන්වහන්සේ රහත් වූහ. නෙත් යුවල අන්ධ විය.

පීතිමල්ල තෙරුන් වහන්සේ

පීතිමල්ල තෙරුන් වහන්සේ දඹදිවින් මෙහි අවුත් මහා විහාරයෙහි පැවිදිව උපසම්පදාව ලැබූ කෙනෙකි. උන් වහන්සේ භික්ෂූන් වහන්සේලා තිස් නමක් සමඟ අරණ්‍ය සේනාසනයක මහණදම් පුරන්නාහු සක්මන් කිරීමෙන් පතුල් ගෙවී එසේ නො කළ හැකි වූ කල්හි ද වීර්යය මඳකුදු ලිහිල් නො කොට දණින් සක්මන් කරමින් භාවනා කළහ. එසේ සක්මන් කරන්නා වූ උන්වහන්සේට එක් මුව වැද්දෙක් රාත්‍රියේ අන්ධකාරයේ මුවෙකැ යි සිතා පහර දිණ. සැත තෙරුන් වහන්සේගේ ශරීරය විද ගෙන බොහෝ ඇතුළට වැදින. උන්වහන්සේ එයින් ද වීර්යය නො හල සේක. සැත ශරීරයෙන් බැහැර කරවා තණ වලින් තුවාලය වස්වා, ගල්තලාව මතුයෙහි හිඳවා ගෙන ශරීරය ගැන අපේක්ෂාව හැර භාවනාවෙහි මහත් වූ වීර්යයෙන් යෙදී සව් කෙලෙසුන් නසා රහත් වූහ.

පෙර මෙසේ නො නිදා ම භාවනාවෙහි යෙදී රහත් වූ ද, රහත් වීමෙන් පසුත් ඒ වීර්යය එසේ ම පැවැත් වූ ද රහතන් වහන්සේලා බොහෝ වූහ. දම් සෙනෙවි සැරියුත් මහා තෙරුන් වහන්සේ තිස් වසක් ඇඳක පිට නො තැබූහ. තුන් ඉරියව්වෙන් පමණක් විසූහ. මුගලන් මහ තෙරුන් වහන්සේ ද එසේ ම විසූහ. මහ කසුප් තෙරුන් වහන්සේ විසි වසක් ඇඳක පිට නොතැබූහ. අනුරුද්ධ තෙරුන් වහන්සේ පනස් පස් වසක් ද, භද්දිය තෙරුන් වහන්සේ තිස් වසක් ද, සෝණ තෙරුන් වහන්සේ අටළොස් වසක් ද, රට්ඨපාල තෙරුන් වහන්සේ දොළොස් වසක් ද, අනඳ මහ තෙරුන් වහන්සේ පසළොස් වසක් ද, රාහුල තෙරුන් වහන්සේ දොළොස් වසක් ද, බක්කුල තෙරුන් වහන්සේ අසූ වසක් ද, නාලක තෙරුන් වහන්සේ පරිනිර්වාණය දක්වා ද ඇඳක පිට නො තැබූහ. හිඳීම ය, සිටීම ය, ගමනය යන තුන් ඉරියව්වෙන් පමණක් කල් යැවූහ.

වීර්‍ය්‍යය පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය

වීර්‍ය්‍ය පාරමිතාවට ම අයත් විශේෂ ප්‍රතිපත්තියක් නැත. වීර්‍ය්‍යයෙන් දාන ශීලාදී පාරමිතා පිරීම වීර්‍ය්‍ය පාරමිතාව ද වේ. දානාදී පාරමිතා කුශලයන් අඩුවක් නැතිව කිරීම ය, ආදරයෙන් ගෞරවයෙන් හොඳින් කිරීම ය. කලින් කල නො නවත්වා දිගට ම කරගෙන යාම ය. සම්බෝධියට පැමිණෙන තුරු අත් නො හැර කිරීම ය, යන අංගයන් ගෙන් යුක්තව දානාදි ක්‍රියා කිරීම ම, වීර්‍ය්‍ය පාරමිතාවේ ද ප්‍රතිපත්ති ය. විශේෂයෙන් සම්‍යක් සම්බෝධිය පතන මහබෝසතුන් විසින් පැරුම් පිරීම පිණිස නිතර ම සූදානමින් විසිය යුතු ය. මා විසින් අද කිනම් පුණ්‍ය සම්භාරයක් ‍රැස් කරන ලදද? කිනම් ඥාන සම්භාරයක් ‍රැස් කරන ලද ද? අනුන්ට කිනම් යහපතක් කරන ලද දැයි දිනපතා තමන් ගැන සිතා බැලිය යුතු ය.

සකල සත්ත්වයන් කෙරෙහි ම අවංකව මෛත්‍රිය හා කරුණාව පැවැත්විය යුතු ය. අනුන් ගේ දුක තමන් ගේ දුක සේ සැලකිය යුතු ය. තමා ගේ ධනයත්, ශරීරයත්, ජීවිතයත්, අනුන් ගේ යහපත පිණිස හා සම්බෝධිය පිණිස පරිත්‍යාග කර තැබිය යුතුය. සියලු සත්ත්වයන් ම තමන් ගේ දරුවන් කොට සැලකිය යුතු ය. තමන් ගේ කය, වචනය, සිත යන ද්වාරත්‍රයෙන් කරන සියල්ල ම සම්බෝධියට නැමුණු සිතින් ම කළ යුතු ය. පාරමිතා විෂයෙහි වීර්‍ය්‍යය වඩ වඩා දියුණු කොට පැවැත්විය යුතු ය. ප්‍රත්‍යේක බෝධිසත්ත්ව ශ්‍රාවක බෝධිසත්ත්වයන් ගේ වීර්‍ය්‍යය පාරමිතා ප්‍රතිපත්තිය නම් සම්බෝධිය සඳහා කළයුතු ඒ ඒ ක්‍රියාවල් නො පිරිහෙන සැටියට වඩ වඩා දියුණු වන සැටියට කර ගෙන යාම ය. පරහිතකරණය ඒ බෝසතුන්ට අප්‍රධාන කරුණෙකි.

වීර්‍ය්‍ය පාරමිතා ප්‍රභේද

අඹු දරුවන් නිසා හෝ ධනය නිසා හෝ අන් සැපක් දුකක් නිසා හෝ පුද්ගලයකු නිසා හෝ නො පසු බස්නා වූ, නො නවත්වන්නා වූ, සම්බෝධිය පිණිස පවත්වන්නා වූ වීර්‍ය්‍යය වීර්‍ය්‍ය පාරමිතාව ය.

සම්බෝධිය පිණිස කරන දන් දීම්, සිල් ‍රැකීම්, භාවනා කිරීම් ආදියෙහි දී තමන්ගේ ශරීරාවයවයන් නිසා ද ලිහිල් නො කරන බලවත් වීර්‍ය්‍යය, වීර්‍ය්‍ය උප පාරමිතාව ය. ඇස් දෙක නැසෙන්නට හැර සම්බෝධිය පිණිස උත්සාහ කළ චක්ඛුපාල තෙරුන් වහන්සේ ගේ වීර්‍ය්‍යයය, වීර්‍ය්‍යය උප පාරමිතාව ය.

ජීවිතය නිසා ද නො නවත්වන ඉතා බලවත් වීර්‍ය්‍යය, වීර්‍ය්‍ය පරමාර්ථ පාරමිතාව ය. සැතින් පහර ලබා සිටියදී එයට ප්‍රතිකාර කරන්නට නො ගොස් ජීවිතාශාව හැර භාවනා කළ පීතිමල්ල තෙරුන් වහන්සේගේ වීර්‍ය්‍යය වීර්‍ය්‍ය පරමාර්ථ පාරමිතාව ය.

වණ්ණුපථ ජාතකය, මහාසීලවරාජ ජාතකය, පඤ්චායුධ ජාතකය, මහාවානරින්ද ජාතකය, මහා ජනක ජාතකය යනාදිය මහ බෝසතාණන් වහන්සේගේ වීර්‍ය්‍යය පාරමිතාව දැක්වෙන ජාතකයෝ ය.

6. ක්ෂාන්ති පාරමිතාව

ශී‍තෝෂ්ණ දෙකින් වන පීඩා ද, සාගින්න පිපාසය ලෙස ආදියෙන් වන දුක් ද, මනුෂ්‍ය තිරශ්චීනාදීන් නිසා වන්නා වූ පීඩා ද, ඔවුන් විසින් කරන පීඩා ද, ඉවසීම “ක්ෂාන්ති” නමි.

ඉවසීම නොයෙක් හේතුන් නිසා කරති. ඇතැම්හු අනුවණකම නිසා ඉවසති. ඇතැම්හු දුබල කම නිසා ඉවසති. ඇතැම්හු රාගය නිසා ඉවසති. ඇතැම්හු කුහක කමට ඉවසති. ඇතැම්හු මිල මුදල් ආදිය ලැබීමේ ආශාවෙන් ඉවසති. ඒ ඉවසීම් මේ පාරමිතා කථාවෙහි අදහස් නො කරනු ලැබේ. පාරමිතා කථාවෙහි අදහස් කරන්නේ බෝධිත්‍රය අතුරෙන් යමකට පැමිණීමේ උපාය වශයෙන් කරන ඉවසීම ය. බෝධිත්‍රයෙන් එකකට පැමිණීමේ උපාය වශයෙන් කරන්නා වූ ඉවසීම ක්ෂාන්ති පාරමිතාව ය. මහා බෝධි පාරමිතාව දැක්වීම් වශයෙන් චරියා පිටක අ‍ටුවාවෙහි -

“කරුණුපාය කොසල්ල පරිග්ගහිතං සත්ත සංඛාරා’පරාධ සහනං අදොසප්පධානො තදාකාරප්පවත්තො චිත්තුප්පාදො ඛන්තිපාරමිතා”යි කීහ.

කරුණාවෙන් හා උපා දන්නා නුවණින් පරිගෘහිත වූ සත්ත්ව සංස්කාරයන්ගේ අපරාධ ඉවසීම හෙවත් ඒ ආකාරයෙන් පවත්නා වූ අද්වේෂය ප්‍රධාන සිත, ක්ෂාන්ති පාරමිතාව ය යනු එහි තේරුම යි.

ඉවසීම බුද්ධාදීන් විසින් පසස්නා ලද උසස් ගුණයෙකි. පැමිණි දුක් කරදරවලින් මිදීමට උත්සාහ නො කොට ඉවසමිය කියා ඒවා නිකම් ම විඳ දරා ගෙන සිටීමත් ගුණයක් නො වේ. දුක් කරදර වලින් මිදීමට උත්සාහ කළ යුතු ය. ගුණයක් වශයෙන් පාරමිතාවක් වශයෙන් ඉවසීම යනුවෙන් අදහස් කරන්නේ දුක් කරදර නිසා විපර්යාසයට නො පැමිණීම ය. ඇතැම්හු යම් යම් දුක් කරදර ඇතිවීම නිසා කළයුත්ත නො කර හරිති. නො කළ යුතු දේ කරති. එය දුක් කරදර නිසා විපර්යාසයට පැමිණීම ය. පාරමිතාවක් වශයෙන් හා ගුණයක් වශයෙන් ගණන් ගන්නා ඉවසීම නම්, දුක් කරදර නිසා තමා කරන යහපත් කටයුතු අත නො හැරීම හා කෝපවීම් - පලි ගැනීම් ආදී පව් කම් නො කිරීම ය.

“කථඤ්ච භික්ඛවෙ : භික්ඛු ඛන්තා හොති? ඉධ භික්ඛවෙ, භික්ඛු ඛමො හොති, සීතස්ස උණ්හස්ස ජිගච්ඡාය. පිපාසාය ඩංසමකසවාතාත - පසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං ඛරානං ක‍ටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසන ජාතිකො හොති: එවං ඛො භික්ඛවෙ! භික්ඛු ඛන්තා හොති.”

තථාගතයන් වහන්සේ විසින් මේ දේශනාවෙන් ඉවසන තැනැත්තා දක්වා තිබේ. යමෙක් ශීතය හා උෂ්ණය ද, සාගින්න ද, පිපාසාව ද, මැසිමදුරුවන්ගේ පීඩා ද, අව් සුළං ද, සර්පයන් ගේ දෂ්ට කිරීම් ද, නො මනා කථා ද, ශරීරයේ හටගන්නා වේදනා ද, ඉවසා නම් ඒ තැනැත්තා ඉවසන තැනැත්තා යයි කියා ඒ දේශනාවෙන් දැක්වේ.

ධර්මය උගෙනීම්, බණ කීම්, බණ ඇසීම්, වත් පිළිවෙත් කිරීම්, භාවනා කිරීම් ආදී සම්බෝධිය පිණිස කළයුතු වැඩ කිරීමේදී ශිතය හෝ උෂ්ණය ඇති වුවහොත් ඇතැම්හු ඒ ශී‍තෝෂ්ණයන් නිසා කරමින් සිටි කටයුත්ත නවත්වති. ශි‍තෝෂ්ණයන් දුරු කිරීමට උවමනා දෑ සෙවීම් වශයෙන් සමහර විට පව් කම් කෙරෙති. ඒ ශී‍තෝෂ්ණයන් නො ඉවසීම ය. “ලෝමසනාග” තෙරුන් වහන්සේ මෙන් ශීතල හා උෂ්ණය තිබියදී තමා කරන දෙය නො නවත්වා කර ගෙන යාම ශී‍තෝෂ්ණ ඉවසීම ය.

ලෝමසනාග තෙරුන් වහන්සේ සෑගිරියේ පියංගු ගුහාවෙහි වාසය කරන සේක්, හිම වැටෙන තද ශීත කාලයේ දී ලෝකාන්තරික නරකය මෙනෙහි කොට තමන් වහන්සේගේ භාවනාව නො නවත්වා ම කරමින් එළිමහනෙහි විසූහ. උන්වහන්සේ තද උෂ්ණ කාලයේදී ද අවීචි මහා නරකය මෙනෙහි කොට ඩහදිය වගුරුවමින් එළිමහනෙහි ම කර්මස්ථානය මෙනෙහි කරමින් විසූහ.

සෑහෙන පමණට ආහාර පාන නො ලැබ දුබලව වෙසෙන මට සිල් නො ‍රැකිය හැකි ය, වත පිළිවෙත නො කළ හැකි ය, භාවනා නො කළ හැකිය, කියා ඒවා හැර දැමීමත්, ආහාර පාන සපයනු පිණිස ගිහියකු නම් වැරදි වෙළඳාම් ආදිය කිරීමත්, පැවිද්දකු නම් කුල දූෂණාදියෙන් ප්‍රත්‍ය සැපයීමත්, සාගින්න හා පිපාසාව නො ඉවසීම ය. සාගින්නෙන් පිපාසාවෙන් වන පීඩා ගණන් නො ගෙන තමා කරගෙන යන ශීලපූරණාදි කටයුතු නො පිරිහෙළා කරගෙන යාමත්, සාගින්න පිපාසාව සන්සිඳවා ගැනීමට පව් කම් නො කිරීමත්, සා ගින්න හා පිපාසය ඉවසීම ය.

මැසි මදුරු ආදි සතුන් ගෙන් පීඩා ඇති වූ කල්හි ඒ නිසා පිළිවෙත් පිරීම නැවැත්වීම හා සතුන් විනාශ කිරීම ආදි පව්කම් කිරීමත් සතුන් ගෙන් වන පීඩා නො ඉවසීම ය. පොළඟා සැපීමත් ගණන් නො ගෙන රාත්‍රිය මුළුල්ලෙහි ම ආර්යවංශ ධර්මය ශ්‍රවණය කළ පිණ්ඩපාතික තෙරුන් වහන්සේ මෙන් සතුන් ගෙන් පීඩා ඇති වූ කල්හි ද තමා කරන ක්‍රියාව නො නවත්වා කර ගෙන යෑමත්, ඒ නිසා පව් කම් නො කිරීමත් මැසි මදුරු ආදි සතුන් ගෙන් වන පීඩා ඉවසීම ය.

ගවරවාලඅංගණ නම් ස්ථානයෙහි වස් වැසූ භික්ෂූන් වහන්සේලා තිස් නමක් දෙසතියකට වරක් බැගින් මහා ආර්යවංශ ධර්මය දේශනය කළහ. එක් දවසක් පිණ්ඩපාතික තෙරුන් වහන්සේ එහි ගොස් දහම් දෙසන තැන පිටිපස මුවාවක හිඳ බණ අසන්නට පටන් ගත්හ. මඳ වේලාවකින් පොළඟකු තෙරුන් වහන්සේගේ පය සැපීය. තෙරුන් වහන්සේට බලවත් වේදනා ඇති වූ නමුත් ඒ බව කියා එයට ප්‍රතිකාර කර වන්නට ගිය හොත් තමන් වහන්සේ ගේ හා තවත් බොහෝ දෙනකුන්ගේත් ධර්ම ශ්‍රවණයට එය අන්තරායයක් වන බැවින් කිසිවකුට නො කියා සර්පයා අල්වා පසුම්බියක ලා බැඳ තබා ආදරයෙන් දහම් අසමින් උන්හ.

අරුනෝද්ගමනයේ තෙරුන් වහන්සේගේ ඵලත්‍රයට පැමිණීමත්, සැපූ මුඛයෙන් විෂ පෘථිවියට බැස යාමත් ධර්ම දේශකයන් වහන්සේ බණ හමාර කිරීමත් එකවර සිදු විය. ඉක්බිති තෙරුන් වහන්සේ එහි උන් භික්ෂූන් වහන්සේලා කැඳවා “එක් සොරකු අල්ලා ගතිමි” යි කියා පසුම්බිය මුදා සර්පයා දැක්වූහ. භික්ෂූන් වහන්සේලා සර්පයා දැක ‘මූ දෂ්ට කෙළේ කොයි වේලේ දැ’යි ඇසූහ. “ඇවැත්නි, ඊයේ සවස් කාලයේ දී ය”යි තෙරුන් වහන්සේ කීහ. කාහටවත් නො දන්වා මේ තරම් බැරෑරුම් දෙයක් නුඹ වහන්සේ කෙළේ මන්දැ’යි භික්ෂූහූ ඇසූහ. තෙරුන් වහන්සේ “ඇවැත්නි, මෙය කීවේ නම් මා ලැබූ අනුසස් මට නො ලැබෙන්නේ ය”යි කීහ. මේ පිණ්ඩපාතික තෙරුන් වහන්සේ වැනි උදාර අදහස් ඇත්තෝ ඉවසන්නෝ ය.

දීඝ භාණක අභය තෙරුන් වහන්සේ වැන්නෝ නො මනා වචන ඉවසන්නෝ ය. ඒ තෙරුන් වහන්සේ මහා ආර්යවංශ ප්‍රතිපදාව දේශනය කළහ. බොහෝ මාගම් වැස්සෝ බණ ඇසීමට එති. තෙරුන් වහන්සේට මහා සත්කාරයක් උපන. එක්තරා තෙර කෙනෙකුට එය ඉවසිය නො හැකි වී; ‘මේ දීඝභාණක ආර්යවංශ ධර්මය දෙසමි’ යි කියමින් මුළු ‍රැය ම කෝලාහල කෙළේ ය, යනාදීන් අභය තෙරුන් වහන්සේට බණින්නට විය. ඒ දෙදෙනා වහන්සේ තම තමන්ගේ වාසස්ථාන කරා ගවුවක් පමණ තැන් එක මඟ යන්නාහු මඟ දිගට ම ද අභය තෙරුන් වහන්සේට බැන්නේ ය.

දෙදෙනා වහන්සේලා ගේ විහාරවලට යන මං බෙදෙන තැන දී අභය තෙරුන් වහන්සේ අනික් තෙරුන් වහන්සේට වැඳ, ‘ස්වාමීනී, මේ නුඹ වහන්සේ ගේ මඟ ය’යි කීහ. බණින ස්ථවිරයෝ නො ඇසුණාක් මෙන් ගියහ. අභය තෙරුන් වහන්සේ විහාරයට ගිය කල්හි අත වැස්සෝ, ‘ස්වාමීනි, ගවුවක් දිගට ම බණින කල්හි නුඹ වහන්සේ ගේ සිතට කිසිවක් නොවී දැ’යි ඇසූහ. ‘ඇවැත්නි, ඉවසීම ම මගේ වැඩේ ය. නො ඉවසීම නො වේ ය. ඒ බැනුම නිසා එක් පියවරකදීවත් මාගේ සිත කමටහනින් බැහැර නො ගියේය, යි කීහ.

යම්කිසි ශාරීරිකාබාධයක් ඇති වූ කල්හි එය නිසා සම්බෝධිය පිණිස කරන කටයුතු හැර නො දැමීම හා ආබාධය සුව කර ගැනීම පිණිස ප්‍රාණඝාතාදිය නො කිරීමත් ශාරීරික වේදනා ඉවසීම ය. පෙර සිතුල්පව්වෙහි විසූ එක්තරා යෝගාවචර තෙරුන් වහන්සේ කෙනකු ගේ කුසයෙහි බලවත් වාතාබාධයක් ඇති විය. සමහර විට එබඳු ආබාධ යෝගාවචරයනට යෝග කර්මය නිසා ම ද ඇති වේ. වේදනාව ඉවසා ගතනොහී තෙරුන් වහන්සේ ඒ මේ අත පෙරළෙන්නට වූහ. එය දු‍ටු පිණ්ඩපාතික තෙරුන් වහන්සේ කෙනෙක් “ඇවැත්නි, පැවිද්දෝ ඉවසන ස්වභාව ඇතියෝය’ යි කීහ. තෙරුන් වහන්සේ “එසේය, ස්වාමීනි” යි කියා නො සෙල්වී තමන් වහන්සේ කමටහන ම මෙනෙහි කරන්නට පටන් ගත්හ. වාතය වඩ වඩා කුපිත වීමෙන් නාභිය පටන් ලය දක්වා තෙරුන් වහන්සේගේ කුසය පැලිණ. තෙරුන් වහන්සේ වේදනාව යටපත් කොට විදර්ශනා වඩා ඒ මොහොතෙහි ම අනාගාමී වී අපවත් වූහ.

තමාටත්, තමාගේ ධනයටත් අඹු දරුවන්ටත් නෑ මිතුරන්ටත්, අනුන් කරන අලාභ හානි අපරාධ ඉවසීම ක්ෂාන්ති පාරමිතාවෙහි උසස් කොටස ය. ඒවා නො ඉවසා කිපී පලි ගන්නට යාමෙන් දෙපක්ෂය ම විනාශයට පැමිණෙති. මරණින් මතු ද අපා ගත වෙති.

ක්ෂාන්ති පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය

ක්ෂාන්තිය නම් සකල ගුණයන්ට ප්‍රතිපක්ෂ වූ, ක්‍රෝධය දුරු කරන්නා වූ සත්පුරුෂයන් ගේ ආයුධය ය, අනුන් පෙළීමේ ශක්තිය ඇති බලවතුන් ගේ අලංකාරය ය, ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේ මහ බලය ය, ක්‍රෝධාග්නිය නිවන ජලය ය, යහපත් කීර්තිය ඇති වන තැන ය, පාප පුද්ගලයන්ගේ වාක් විෂ නසන ඖෂධය ය, සංවරයෙහි පිහිටියවුන්ගේ උසස් ගතිය ය, ද්වේෂ නමැති මහා සාගරයේ වෙරළ ය, අපායද්වාරය වසන පියන ය, දිව්‍ය බ්‍රහ්ම ලෝකයන්ට නගින හිණ ය, සියලු ගුණයන් වාසය කරන බිම ය, උත්තම කාය වාක් මනඃ විශුද්ධිය ය, මෙසේ ක්ෂාන්තියේ ගුණ මෙනෙහි කළ යුතු ය.

“ලොව වෙසෙන සැමට ම සතුරු පක්ෂයක් ද ඇත්තේ ය. ලොවුතුරා බුදුවරු පවා එයින් නො මිදුණාහ. එය ලෝකස්වභාවයය. මට අනුන්ගෙන් පීඩා ලැබෙන්නේ අතීතයෙහි ඉපදීමට හේතු වන කර්ම ‍රැස් කර සතුරු පීඩා ලැබිය යුතු මේ ලෝකයේ උපන් බැවින් ය. එයට මම ද වරද කරුවෙක් වෙමිය. සතුරා ම වරදකරු සැටියට ගෙන ඔහුට කිපීම වරදෙක’ අනුන් වරද කළ කල්හි මෙසේ මෙනෙහි කරනු.

අපකාරකයන් නැති නම් මා හට ක්ෂාන්ති පාරමිතාව පුරන්නට තැනක් නැත. ක්ෂාන්ති පාරමිතාව පුරන්නට ලැබෙන්නේ මේ සතුරන් නිසා ය. මේ අපකාරකයෝ මා හට ක්ෂාන්ති පාරමිතාව පිරීමට අවස්ථාවක් ඇති කර දීමෙන් උපකාරකයෝය යි ද මෙනෙහි කරනු.

මහ බෝසතුන් විසින් තමන් තුන් ලොවට ම පියවරු මෙන් ද, ලෝ වැස්සන් තමන් ගේ දරුවන් මෙන් ද මහා කරුණාව පෙරදැරි කොට සැලකිය යුතු ය. අනුන් වරද කළ කල්හි මොවුහු මාගේ දරුවන් වැන්නෝ ය. මම මොවුන් දුකින් මිදවීමට සිටින තැනැත්තා වෙමි. කවර නම් පියෙක් දරුවන්ට කිපෙත් ද? වරද ඉවසනු විනා පියකු වැනි මම මොවුන්ට කෙසේ කිපෙම්දැයි සිතිය යුතු ය.

කකචූපම අවවාදය

සියලු ම බෝසතුන් විසින් නො කිපී, විසිය හැකි වීමට කකචූපම ඕවාදාදිය මෙනෙහි කිරීම ද සුදුසු ය. කකචූපම අවවාදය මෙසේ ය-

“උභතො දණ්ඩකෙන පි චෙ භික්ඛවෙ කකචෙන චොරා ඔවරකා අංගමංගාන ඔකන්තෙය්‍යුං, තත්‍රාපි යො මනො පදූසෙය්‍ය. න මෙ සො තෙන සාසනකරො”

“මහණෙනි, නීච කර්ම කරන්නා වූ සොරු ඉදින් තොපගේ ශරීරය හරස් කියතින් කපත් ද, එකල්හි දු යමෙක් කිපේ නම් එයින් ඒ තැනැත්තා මාගේ අනුශාසනය කරන්නේ නොවේ’ ය යනු එහි තේරුම යි. සොරුන් විසින් තමා ගේ ශරීරය සරස් කියතෙන් කපමින් වද දෙන කලක වුව ද නො කිපිය යුතුය, යනු තථාගතයන් වහන්සේගේ අනුශාසනය ය.

පුණ්ණෝවාදය

එක් සවස් කාලයක ආයුෂ්මත් පුණ්ණ තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ වෙත එළඹ, ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම හුදෙකලාව වෙසෙමින් මහණදම් පුරනු කැමැත්තෙමි. ඒ සඳහා මට කෙටි අවවාදයක් කරනු මැනැවැ’ යි සැළ කළෝය. භාග්‍යවතුන් වහන්සේ පුණ්ණ තෙරණුවන්ට කොටින් දහම් දෙසා “පුණ්ණය, මා ගෙන් මේ කෙටි දහම් දෙසුම අසා ගෙන කවර ජනපදයක වාසය කරන්නෙහිදැ’ යි විචාළ සේක.

“ස්වාමීනි, සුණාපරන්ත නම් ජනපදයක් ඇත. මම එහි වෙසෙමි.”

“පුණ්ණය, සුණාපරන්තයේ මිනිස්සු නපුරුය, ඉදින් එහිදී තට බැන්නහු නම් එකල්හි කුමක් සිතන්නෙහි ද?”

“ස්වාමීනි, සුණාපරන්තයෝ හොඳ මිනිස්සු ය, බණින නුමුත් මොවුහු මට අතින් නො ගසති’ යි සිතමි.

“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ අතින් ගසත් නම් කුමක් සිතන්නෙහි ද?”

“ස්වාමීනී, මේ මිනිස්සු හොඳය, අතින් ගසන නමුත් මොවුහු මට ගල් නො ගසති’ යි සිතමි.

“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ ගල් ගසත් නම් එකල්හි කුමක් සිතන්නෙහි ද?”

“ස්වාමීනී, සුණාපරන්තයෝ හොඳය. ගල් ගසත්, මුත් පොලුවලින් නො ගසති’ යි සිතන්නෙමි.

“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ පොලුවලින් ගසත් නම් කුමක් සිතන්නෙහි ද?”

“ස්වාමීනී, සුණාපරන්තයෝ හොඳය, පොලු වලින් ගසත් මුත් කැති පිහියාවලින් නො කොටති’යි සිතමි.

“පුණ්ණය, සුණාපරන්තයෝ පිහියාවලින්, කැති මන්නාවලින් කොටන්නාහු නම් කුමක් සිතන්නෙහි ද?”

“ස්වාමීනී, සුණාපරන්තයෝ හොඳය, මොවුහු මා නො මරති ’යි සිතමි.

“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ තා මරත් නම් කුමක් සිතන්නෙහි ද?”

“ස්වාමීනී, ශරීරයත්, ජීවිතයත් පිළිකුල් කරන ඇතැම් බුද්ධ ශ්‍රාවකයෝ ශරීරය ගැනත්, ජීවිතය ගැනත් කළකිරී තමන් මරවා ගැනීමට මිනිසුන් සොයති. නො සොයා ම මම මිනීමරුවන් ලදිමි” යි සිතමි.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ වදාරන සේක් “පුණ්ණය, ඉතා හොඳය. එබඳු හික්මීමක් ඇත්තා වූ තට සුණාපරන්තයෙහි විසිය හැකි ය. එයට කල් දනුව’ යි වදාළ සේක.

පුණ්ණ තෙරුන් වහන්සේ එහි ගොස් උපාසකයන් පන්සියයක් ද, උපාසිකාවන් පන්සියයක් ද ඇති කොට තමන් වහන්සේ ද සව් කෙලෙසුන් නසා රහත්ව පිරිනිවන් පා වදාළ සේක.

ඉවසිය හැකි වනු සඳහා භාවිත කළ යුතු ගාථා

“කොධං වධිත්වාන කදාචි සොචති

මක්ඛප්පහානං ඉසයො වණ්ණයන්ති,

සබ්බේසං වුත්තං ඵරුසං ඛමෙථ

එතං ඛන්තිං උත්තම මාහු සන්‍තෝ”

තේරුම:

ක්‍රෝධය නසා කිසි කලෙක ශෝක නො කෙරේ. මක්ඛ නම් වූ කළගුණ අමතක කරන ස්වභාවය දුරු කිරීම සෘෂීහු වර්ණනා කෙරෙති. සම - උසස් - පහත් සැම දෙනා ම කියන පරොස් බස් ඉවසව්. ඒ ක්ෂාන්තිය උතුමැ’යි සත්පුරුෂයෝ කියති.

“භයා හ සෙට්ඨස්ස වචො කමෙථ

සාරම්භ හෙතු පන සාදියස්ස.

යො විධ හීනස්ස වචො ඛමෙථ

එතං ඛන්තිං උත්තම මාහු සන්‍තෝ”

තේරුම:

බිය නිසා ශ්‍රේෂ්ඨයා ගේ වචනය ඉවසන්නේ ය. එකට එක කිරීම නිසා සමානයාගේ වචනය ඉවසන්නේ ය. මේ ලෝකයෙහි යමෙක් හීනයා ගේ වචනය ඉවසා ද එය උතුම් ඉවසීමය යි සත්පුරුෂයෝ කීහ.

“අක්කොසං වධ බන්ධඤ්ච අදුට්ඨො යො තිතික්ඛති

ඛන්තිබලං බලාණිකං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං”

තේරුම:

යමෙක් බැණුම් හා වධබන්ධන, කෝප නො වී ඉවසා ද, ක්ෂාන්ති බලය ඇති බල ඇණියක් ඇති ඒ තැනැත්තා මම පව් දුරු කළ කෙනෙකැ’යි කියමි.

“සදත්ථපරමා අත්ථා කන්ත්‍යා භියෙය්‍යා න විජ්ජති.

යො භවෙ බලවා සන්තො දුබ්බලස්ස තිතික්ඛති,

තමාහු පරමං ඛන්තිං නිච්චං ඛමති දුබ්බලො”

තේරුම:

අර්ථයන්ගෙන් ආත්මාර්ථය ප්‍රධානය, අර්ථයන් අතුරෙන් ක්ෂාන්තියට උතුම් අර්ථයක් නැත. යමෙක් බලවත්ව සිට දුර්වලයා ගේ අපරාධ ඉවසා ද, එය උත්තම ක්ෂාන්තිය ය. දුර්වලයා නිතර ම ඉවසයි.

“තස්සේ ච තෙන පාපියෝ යො කුද්ධං පටිකුජ්ඣති,

කුද්ධං අප්පටි කුජ්ඣන්තො සංගාමාං ජෙති දුජ්ජයං”

තේරුම:

යමෙක් කිපුණු තැනැත්තාට කිපේ ද, එයින් ඔහුට ම පාපයක් වේ. කිපුණහුට නො කිපෙන තැනැත්තේ දිනීමට දුෂ්කර යුද්ධයෙන් දිනයි.

බුදුරජාණන් වහන්සේගේ අතීත චරිත මෙනෙහි කිරීමෙන් ද ක්ෂාන්තිය ඇති කර ගත හැකි ය.

සීලවරාජ චරිතය

මහ බෝසතාණන් වහන්සේ සීලවරාජ කාලයේ දී තමන්ගේ දේවිය දූෂණය කළ ඇමතියා විසින් පොළඹ වන ලදුව තුන්සිය යොදුන් රාජ්‍යය පැහැර ගැනීම්ට ආ රජු වැළැක්වීමට, තමන්ගේ ඇමතියන්ට ආයුධයකට අත තබන්නට වත් නුදුන්හ. සතුරු රජු විසින් ඇමතියන් දහස් දෙනා ද සමඟ අමු සොහොනෙහි ගෙල දක්වා පණ පිටින් වළලනු ලැබූ කල්හි ද අල්පමාත්‍රයකදු කෝප නො වී, රාත්‍රී කාලයේ සිවලුන් විසින් බිම කැණීමේ උපකාරයෙන් වළෙන් නැඟී, ඇමතියන් දහස ද බේරා ගෙන දේවතානුභාවයෙන් රාත්‍රියේ ම රජ වාසලට පැමිණි කල තමන් වහන්සේගේ සිරි යහන්හි නිදා සිටි දුෂ්ට රජු දැකැ, කිසිදු නපුරක් නො කොට සතුරු රජා තමන් වහන්සේගේ මිතුරකු කර ගත්හ.

ක්ෂාන්තිවාදී චරිතය

මහ බෝසතාණන් වහන්සේ ක්ෂාන්තිවාදි තාපස කාලයේ දී කලාබු රජු විසින් බෝසතාණන් වහන්සේට පහර දෙ දහසක් කසයෙන් තළවා, අත් - පා- නාසා ද සිඳවන ලදහ. මහ බෝසතාණන් වහන්සේ කිපුණ හොත් මුළු රට ම විනාශ වනු ඇතැ යි බිය පත් වූ සෙනෙවි තුමා ලේ පිසදමා සෙමින් මහ බෝසතාණන් වහන්සේ හිඳුවා “නුඹ වහන්සේට මේ අපරාධය කළ රජුට මිස අනෙකකුට නො කිපෙනු මැනව”යි යාඥා කෙළේ ය. එකල්හි මහ බෝසතාණන් වහන්සේ -

“යො මෙ හත්ථෙ ච පාදෙච කණ්ණ නාසඤ්ච ඡෙදයී

චිරං ජීවතු සො රාජා නහි කුජ්ඣන්ති මාදිසා”යි

යම් රජෙක් මාගේ අත් - පා - කන් - නාසා සිඳ වී ද, ඒ රජ බොහෝ කල් ජීවත් වේවා, මා වැන්නෝ නො කිපෙති යි වදාළහ. බෝසතාණන් වහන්සේට අපරාධ කළ දුෂ්ට රජ ද උයන් දොර‍ටුවේ දී ම ඒ පවින් පොළොවෙහි ගිලී අවිචී මහා නරකයෙහි උපන.

ඡද්දන්ත නාගරාජ චරිතය

මහ බෝසතාණන් වහන්සේ ඡද්දන්ත නම් ඇත්රජ වූ කාලයේ දී වළක් කැණ සැඟවී සිට විෂ පෙවූ ඊයෙන් තමන් වහන්සේට විද්දා වූ පාපී පුරුෂයා හට මදකුදු නො කිපී “යහළුව, නුඹ කිනම් ප්‍රයෝජනයක් පිණිස කාගේ උවමනාවකට මා විද්දෙහි දැ?”යි ප්‍රිය වචනයෙන් අසා “කාශි රජු ගේ දේවියට ඔබ ගේ දළ වුවමනා වී මා එවන ලදැ’යි කී කල්හි සවනක් ‍රැසින් බබලන තමන් වහන්සේගේ උතුම් දළ දෙක ද වැද්දාට පරිත්‍යාග කළ සේක.

මහා කපි ජාතකය

පෙර ගොවි කම් කරන එක් බමුණෙක් පලාගිය ගොනුන් සොයමින් වනයෙහි ඇවිදින්නේ මං මුළා වී සත් දිනක් නිරාහාරව සිට, එක් දිඹුල් ගසක ඵල දැක එයට නැග ගෙඩි කන්නේ සැට රියන් ප්‍රපාතයකට ඇද වැටිණ. එකල්හි මහ බෝසතාණන් වහන්සේ වඳුරුව ඉපිද, ඒ වනයෙහි පලාඵල බුදිමින් ඇවිදිනාහු ප්‍රපාතයේ වැටීහුන් මිනිසා දැක මහත් වූ කරුණාවෙන් ප්‍රපාතයට බැස වැටී සිටි මිනිසා කර තබා ගෙන ඉතා අමාරුවෙන් ගොඩ ගත්හ. වෙහෙසට පත් බෝසතාණන් වහන්සේ ඒ පාපී පුරුෂයා කෙරෙහි විශ්වාසය තබා ඔහුට තමන් වහන්සේ ‍රැක ගන්නට ය කියා විඩා සංසිඳුවා ගනු පිණිස මඳක් නින්දට වන්හ.

වළෙං ගොඩ නැංවූ පව්කාර මිනිසා “මුවන් මෙන් වඳුරා ද මිනිසුන් ගේ ආහාරයෙකි. මූ මරා මස් කා මඟට ද මස් ගෙන යමි”යි සිතා මහ ගලක් ගෙන බෝසතාණන් වහන්සේගේ හිසට ගැසීය. ඒ අවස්ථාවේ මිනිසා බොහෝ දුබලව සිටි බැවින් පහර දැඩි නුවූයේ බෝසතාණන් ගේ දිවි ‍රැකිණ. එහෙත් බරපතල ලෙස හිස තුවාලවී ලේ ගලන්නට විය. මහ බෝසතාණෝ පිබිද, තමන් විසින් ම වලෙන් ගොඩ නැංවූ මිනිසා තමාට පහර දුන් බව තේරුම් ගෙන වහා ගසකට නැඟ ඒ පාපී පුරුෂයා කෙරෙහි මදකුඳු නො කිපී -

“මා හෙ ත්වං අධ්ම්මට්ඨ වෙදනං ක‍ටුකං ඵුසී

මා හෙව පාපකම්මන්තං ඵලං වෙළුංව තං වධී”යි

“පව්කාරය, තට මේ පවින් ක‍ටුක වේදනා නො වේවා, ඵලය හුණගස නසන්නාක් මෙන් තා කළ මේ පව තා නො නසාවා”යි ඒ පවිටාට සුබ පතා, “පව්කාරය, ‍තෝ බිමින් යව; මම ගස්වලින් යෙමින් තට පියසට යන්නට මඟ පෙන්වමි”යි කියා මහත් වූ වේදනාවෙන් පෙළෙමින් කදුළු වගුරුවමින් ගසින් ගසට යෙමින් මිනිහාට මඟ පෙන්වූහ. මිත්‍රද්‍රෝහි කම ඉහාත්මයේ ම විපාක දෙන මහ පවෙකි. ඒ පවින් ද්‍රෝහි කම් කළ පුරුෂයාගේ ශරීරයෙහි සුව නො වන දරුණු කුෂ්ට රෝගයක් උපන. දොඹ ගෙඩි පමණ, දෙහි ගෙඩි, දොඩම් ගෙඩි පමණ ගෙඩි ඔහු ගේ සිරුරෙහි හට ගත. හේ සත් වසක් බොහෝ දුක් විඳ අන්තිමේ දී පොළොවෙහි ගිලී මිය ගොස් අවිචී මහා නරකයෙහි උපන.

ද්වේෂයේ ආදීනව මෙනෙහි කිරිම ද ක්ෂාන්තිය දියුණු කර ගත හැකි වීමට ඇති එක් උපායෙකි. ශී‍තෝෂ්ණාදිය නිසා කළ යුතු දෑ හැර නො දැමීමෙන් ද, පරාපරාධයන් ගැන නො කිපීමෙන් ද දාන ශීලාදිය සම්පූර්ණ කිරීම ක්ෂාන්ති පාරමිතාවේ ප්‍රතිපත්තිය ය.

ක්ෂාන්ති පාරමිතාවේ භේදත්‍රය

ධනයට හා අඹු දරු ආදීන්ට වන හානි ගැන නො බලා ශී‍තෝෂ්ණාදිය හා පරාපරාධ ඉවසීම ක්ෂාන්ති පාරමිතාව ය.

නෙත් දෙක ‍රැක ගැනීමේ බලාපොරොත්තුව හැර වේදනා ඉවසමින් මහණ දම් පුරා රහත් වූ චක්ඛුපාල තෙරුන් වහන්සේ මෙන් අත් පා ආදී ශරීරාවයව පරිත්‍යාගයෙන් කරන ඉවසීම ක්ෂාන්ති උප පාරමිතාව ය.

ක්ෂාන්තිවාදි තාපසයන් වහන්සේ මෙන් ද, සීලව රජතුමා මෙන් ද, පොළඟා සැපීම ගණන් නො ගෙන බණ ඇසූ පිණ්ඩපාතික තෙරුන් වහන්සේ මෙන් ද ජීවිත පරිත්‍යාගයෙන් කරන ඉවසීම ක්ෂාන්ති පරමාර්ථ පාරමිතාව ය.

7. සත්‍ය පාරමිතාව

බෝධිත්‍රයෙන් එකකට පැමිණෙනු රිසියෙන් පවත්වන සත්‍යවාදි භාවය සත්‍ය පාරමිතාවය ය. “කරුණුපාය කොසල්ලපරිග්ගහිතං විරති චේතනාදි භෙදං අවිසංවාදනං සච්චපාරමිතා”යි මහා බෝධිසත්ත්වයන්-ගේ වශයෙන් සත්‍ය පාරමිතාව චරියා පිටක අටුවාවෙහි දක්වා තිබේ. “කරුණාවෙන් හා උපා දන්නා නුවණින් වැළද ගන්නා ලද, විරති චේතනාදි ප්‍රහේද ඇති, අනුන් නො රැවටීම සත්‍ය පාරමිතාව’ යනු එහි තේරුම යි.

සත්‍යවාදීත්වය ශිලයේ ම එක් කොටසකි. එහෙත් එය සකල ගුණයන්ට ම ආධාර වන, මහා ගුණයක් උසස් ගුණයක්, වන බැවින් “සත්‍ය පාරමිතාවය” යි වෙන් වූ පාරමිතාවක් වශයෙන් ගණන් ගෙන තිබේ. අන් කොතෙක් ගුණ ඇතත් සත්‍යයෙහි නො පිහිටි තැනැත්තා ගුණවතකු වශයෙන් ගණන් ගනු නො ලැබේ. යමෙක් සත්‍යයෙහි පිහිටියේ නම්, පොරොන්දු කඩ නො කෙරේ නම්, ඒ තැනැත්තා කෙරෙහි ඒ සත්‍යයෙහි පිහිටීම නිසා ම තවත් බොහෝ ගුණ ඇති වේ.එ බැවින් සත්‍යය ගුණයන්ට බිමක් ද වෙයි. උසස් ගුණයක් ද වෙයි. මෙය මහ බෝසතුන් විසින් ඉතා උසස්කොට රැකි ගුණයෙකි.

මහ බෝසතාණන් වහන්සේ අතින් සමහර අවස්ථාවල දී ප්‍රාණඝාතයත්, අදත්තාදානයත්, මිථ්‍යාචාරයත්, සුරාපානයත් සිදුවි ඇති නමුත් අනුන් ගේ අර්ථය නැසෙන පරිදි බොරු කීමක් කවදාවත් සිදුවී නැති බව -“බෝධිසත්තස්ස හි එකච්චේසු ඨානෙසු පාණාති පාතම්පි අදින්නාදානම්පි මිච්ඡාචාරොපි සුරාපානම්පි හොති යෙව. අත්ථ භඤ්ජක විසංවාදං පන පුරක්ඛත්වා මුසාවාදො නාම නාහොසි” යනුවෙන් හාරිත ජාතක අටුවාවේ දක්වා තිබේ.

වාග් දුශ්චරිතයෙන් වැළකීම් වශයෙන් සැම තන්හි ම සත්‍යය පාවිච්චි කිරීම ය, පොරොන්දූ නො කඩ කිරීම ය, ආත්මාර්ථ පරාර්ථ සාධනය පිණිස සත්‍ය කීම ය යි සත්‍ය පාරමිතාව තුන් ආකාරයකින් තේරුම් ගත යුතු ය. අනුන් රැවටීමේ අදහසින් තොරව, ඉටු කිරිමේ අදහසින් ම පොරොන්දු වී පසුව යම් යම් අමාරු කම් නිසා ඇතැම්හු ඒ පොරොන්දූ කඩ කරති. එසේ කරන්නවුන්ට පොරොන්දු වන අවස්ථාවේ දී රැවටීමේ අදහසක් නැතිව ඇත්ත වශයෙන් ම පොරොන්දු වු බැවින් බොරු කීමේ පාපය නම් නො වේ. එසේ කරන තැනැත්තා බොරු නො කියන නමුත් සත්‍යයෙහි පිහිටියෙක් ද නො වේ.

සත්‍යය කීම මෙන් ම සත්‍යයෙහි පිහිටිම ද උසස් ගුණයෙකි. බෝධිසත්ත්ව ගුණයෙකි. එබැවින් සත්‍යයෙහි පිහිටීමත් සත්‍ය පාරමිතාවේ එක් කොටසක් වශයෙන් ගෙන තමා කෙරෙහි විද්‍යාමාන යම් කිසි ගුණයක් හෝ, වෙනත් උත්තමයකුගේ ගුණයක් හෝ කියා, ඒ සත්‍යානුභාවයෙන් මෙනම් දෙයක් සිදු වේවා යයි කීම “සත්‍ය ක්‍රියා” නම් වේ. පිරිත් කීමද සත්‍ය ක්‍රියාවෙකි. පිරිත් කීමෙහි දී බොහෝ සෙයින් සිදු වන්නේ රත්නත්‍රයේ ගුණවලින් සත්‍ය ක්‍රියා කිරීම ය. සත්‍ය පාරමිතාව දැක්වීම සඳහා දේශනය කර තිබෙන බෝධිසත්ත්ව චරිතවල බොහෝ සෙයින් ඇත්තේ උන්වහන්සේ ගේ ම යම් කිසි ගුණයක් කියා සත්‍ය ක්‍රියා කිරීම ය.

අනුන් ගේ ගුණයක් කියා කරන සත්‍යක්‍රියාවට වඩා තමන් විසින් පවත්වා ගෙන එන තමන්ගේ ගුණයක් කියා සත්‍ය ක්‍රියා කිරීම ඵලදායක බව නොයෙකුත් කථා වස්තු වලින් පෙනේ. සුළු කරුණ වුවද තමන්ගේ ගුණයෙන් කරන සත්‍ය ක්‍රියාවේ ඵලය එකෙණෙහි ම ලැබෙන බව මතු දැක්වෙන ජාතක කථාවෙන් දත හැකිය.

එක් කලෙක මහාබෝසතාණන් වහන්සේ අසූ කෙළක් ධනය ඇති බමුණු පවුලක ඉපද, තමන්ට හිමිව තුබූ සියලු ධනය දන් දී පැවිදි වුහ. උන් වහන්සේගේ නාමය “දීපායන” තාපසයෝය. උන් වහන්සේ පසු කාලයේදී මණ්ඩව්‍ය නම් වූ යහළුවකු විසින් කරවා දෙන ලද පන්සලක විසූහ. දිනක් මණ්ඩව්‍ය හා ඔහුගේ භාර්‍ය්‍යාව කුඩා දරුවකු ද ගෙන තාපසයන් වහන්සේ වෙත ගොස් කථා කරමින් සිටින අතර දරුවා තාපසයාණන් වහන්සේ ගේ සක්මන කෙළවර පන්දුවකින් ක්‍රිඩා කෙළේ ය. වරක් ඔහුගේ පන්දුව සර්පයකු වෙසෙන බිලයකට වැටීමෙන් සර්පයා කිපී සිටි වේලෙහි එය ගැනීමට ළමයා අත දැම්මේය. කිපී සිටි සර්පයා ඔහුගේ අත දෂ්ට කෙළේ ය. එයින් ඔහු එතැන ම සිහිසන් නැති වී වැටිණ.

මඳ වේලාවකින් එසේ වැටී සිටි දරුවා දැක මා පිය දෙදෙන ඔහු ඔසවා ගෙන ගොස් තාපසයන් වහන්සේ ගේ පා මුල තබා “ස්වාමීනී, පැවිද්දෝ මන්ත්‍ර බෙහෙත් දන්නාහ. අපගේ මේ දරුවා සුවපත් කර දෙන සේක්වා’යි කීහ. එකල්හි බෝසතාණන් වහන්සේ “මම වෙදකම් කිරිමට මහණ වූවෙක් නො වෙමි. මම වෙදකම් නොදනිමි” යි කීහ. “එසේ නම් ස්වාමීනි, මේ පොඩි දරුවාට අනුකම්පා කොට සත්‍ය ක්‍රියාවක් වත් කරනු මැනවි”යි දරුවාගේ මාපියෝ කීහ. ඒ දරුවාගේ නම යඤ්ඤදත්ත ය. තාපසයන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් මෙසේ සත්‍ය ක්‍රියා කළහ.

“සත්තාහමෙවාහං පසන්නචිත්තො

පුඤ්ඤත්ථිකො අචරිං බ්‍රහ්මචරියං

අථාපරං යං චරිතං මම යිදං

වස්සානි පඤ්ඤාස සමාධිකානිඃ

අකාමකෝ වාපි අහඃ චරාමි

එතෙන සච්චේන සුවත්ථි හොතු

හතං විසං ජීවතු යඤ්ඤදත්තො”

තේරුම:

මා පැවිදිව පහන් සිතින් පින් කැමැත්තෙන් මහණ කම කෙළේ සත් දිනක් පමණ ය. ඉන් පසු පනස් වසකට අධික කාලයක් මා මේ මහණකම කෙළේ නො කැමැත්තෙන් ය. ඒ සත්‍යානුභාවයෙන් යඤ්ඤදත්තට සුවවේවා! විස නැසේවා!! යඤ්ඤදත්ත ජීවත් වේවා!!!

මහ බෝසතාණන් වහන්සේ මෙසේ සත්‍ය ක්‍රියා කළ සැටියේ ම දරුවාගේ සිරුරෙහි හිස පටන් පපුව දක්වා තිබූ විෂ පොළොවට බැස ගියේ ය. දරුවා ඇස හැර බලා ‘අම්මේ’යි කියා හැරි නැවතත් නිදා ගත්තේය. “මට කළ හැකි හරිය මම කෙළෙමි. ඔබට ද කළ හැකි දෙයක් කරනු මැනව’ යි බෝසතාණන් වහන්සේ දරුවාගේ පියාට කීහ. හෙතෙමේ ද මමත් සත්‍ය ක්‍රියා කරමි යි දරුවා ගේ ළය මත අත තබා මෙසේ සත්‍යක්‍රියා කෙළේ ය.

“යස්මා දානං නාභිනන්දිං කදාචි

දිස්වානාහං අතිථිං වාසකාලෙ,

න චා පි මේ අප්පියතං අවෙදුං

බහුස්සුතා සමණා බ්‍රාහ්මණාච

අකාමකො චා හි අහං දදාමි

එතෙන සච්චේන සුවත්ථි හොතු

හතං විසං ජීවතු යඤ්ඤදත්තො”

තේරුම:

ආගන්තුකයන් මා ගේ ගෙට පැමිණි කල්හි ඔවුන්ට දන් දීමට කැමැත්තක් මට කවදාවත් ඇති නො විය. නො කැමැත්තෙන් ම මම දන් දෙමි ය: එහෙත් ඒ බව උගත්ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පවා නො දැනුණේ ය. ඒ සත්‍යානුභාවයෙන් යඤ්ඤදත්තට සැප වේවා! විස නැසේවා!! යඤ්ඤදත්ත ජීවත් වේවා!!!

ඒ සත්‍යක්‍රියාවේ බලයෙන් තුනටියෙන් උඩ තිබු විෂ බැස ගියේය. දරුවා හිඳ ගත්තේය. එහෙත් නැගීටිමට නොහැකි විය. එකල්හි ප්‍රිය භාර්යාවට “සොඳුර, මම මට කළ හැකි දෙය කෙළෙමි. නුඹද සත්‍යක්‍රියා කොට පුතාට නැගිට යන්නට සලස්සන්න‘ යි කීය. එකල්හි භාර්‍ය්‍යාව, “මගේ ද එක් සත්‍යයක් ඇත්තේය. එය ඹබ ඉදිරියේ කිව නො හැකිය‘යි කීය. සොඳුර, කුමක් කීවත් වරද නැත. කොයි ලෙසකින් හෝ මේ දරුවා සුවපත් කරන්න ය‘යි සැමියා කීය. එකල්හි භාර්යාව මෙසේ සත්‍යක්‍රියා කළාය.

“ආසීවිසො තාත පහූත තෙජො

යොතං අඩංසී බිලසා උදිච්ච

තස්මිං ච මේ අප්පියතාය අජ්ජ

පිතරී ච තෙ නත්ථි කොචි විසෙසො ,

එතෙන සච්චේන සුවත්ථි හොතු

හතං විසං ජීවතු යඤ්ඤදත්තො”

තේරුම:

දරුව, උග්‍ර විෂ ඇත්තා වූ යම් සර්පයෙක් බිලයෙන් නැඟී නුඹ දෂ්ට කෙළේ ද, ඒ සර්පයා කෙරෙහි හා නුඹ ගේ පියා කෙරෙහිත් මාගේ අප්‍රියතාවෙහි වෙනසක් නැත. ඒ දෙදෙනාම වෙනසක් නැතිව මට අප්‍රිය ය. එහෙත් ඒ බව අද මේ වන තුරු මම කිසිවෙකුට නො දැන්වූයෙමි. ඒ සත්‍යානුභාවයෙන් නුඹට සැපවේවා! විස නැසේවා!! යඤ්ඤදත්ත ජීවත් වේවා!!!

මෙසේ සත්‍යක්‍රියා කළ කල්හි යඤ්ඤදත්තගේ ශරීරයේ විෂ සම්පූර්ණයෙන්ම බැස ගියේය. හේ නැවත ද සෙල්ලම් කිරීමට පටන් ගත්තේය. (මේ කණ්හදීපායන ජාතකයෙන් කොටසකි.)

සත්‍ය පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය

සත්‍ය පාරමිතාව පිරිය හැකි වීමට මුසාවාදයේ ආදීනවය මෙනෙහි කළ යුතු ය. සත්‍යයෙහි පිහටීමේ අනුසස් මෙනෙහි කළ යුතුය. සත්‍යවාදීන්ගේ හා සත්‍ය බලයෙන් ආත්මාර්ථය හා ලෝකාර්ථය සිදු කළ පුද්ගලයන්ගේ චරිත මෙනෙහි කළ යුතු ය.

මුසාවාදයේ ආදීනව

බොරු කීම නීචයන්ගේ ක්‍රියාවකි. උත්තමයෝ ජීවිතය නිසාවත් බොරු නො කියති. බොරු කියන්නෝ බොරු කාරයෝ යයි ලෝකයා පිළිකුල් කරති. බොරු කියන්නා ගේ ඇත්ත වුව ද සෙස්සෝ ඇත්තක් හැටියට නො පිළිගනිති. බොරු කියන්නාට විශ්වාසයෙහි පිහිටීමෙන් ලැබිය යුතු උපකාරයක් අනුන් ගෙන් නො ලැබිය හැකිය. පරලොව ගැන අපේක්ෂාවක් නැති බොරු කියන තැනැත්තාට නො කළ හැකි පාපයක් නැති බව:

“එකං ධම්මං අතීතස්ස මුසාවාදස්ස ජන්තුනො

විතිණ්ණ පරලෝකස්ස නත්ථි පාපං අකාරියං”

යනුවෙන් ප්‍රකාශිතය.

බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු අපායෙහි ඉපදෙති. අපායෙන් මිදී නැවත මිනිස් ලොව උපන් කල්හි ද ඉතිරිව ඇති ඒ පව නිසා එක බොරුවකට සිය ගණන් ඡාතිවල දී නො කළ වරදවලට හසුවී දඬුවම් ලබති. නින්දා ලබති. මෝඩයෝ වෙති. දීනයෝ වෙති. ගොළු වෙති. ගොත ගසන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. කට ගඳ ඇතියෝ වෙති. නො මනා කැත දත් ඇත්තෝ වෙති. මුඛ රෝග බහුලයෝ වෙති. දරු මුණුබුරෝ ද ඔවුන් ගේ කීම නො සලකති. ඔවුනට දරුවෝ නොලැබෙති. ලබන්නාහු ද ගැහැනු දරුවෝ වෙති. ඒ දරුවෝ ද ඔවුනට අකීකරු වෙති.

බොරුකීම හා පැවිද්ද

බොරු කීම පැවිද්දන්ට ඉතා අයෝග්‍ය පාපයෙකි. පැවිද්දන් විශේෂයෙන් ම සත්‍යවාදී විය යුතුය. බොරුකීමට ලජ්ජා නො වන පැවිද්දාගේ මහණකම ගැන අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙහි දැක්වෙන සැටි මෙසේය:

“අථ ඛො භගවා පරිත්තං උදකාවසෙසං උදකාධානෙ ඨපෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි; පස්සසි නො ත්වං රාහුල, ඉමං පරිත්තං උදකාවසේසං උදකාධානෙ ඨපිතන්ති? එවං භන්තෙ, එවං පරිත්තං ඛො රාහුල, කෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජාන මුසාවාදෙ ලජ්ජාති.”

“අථ ඛො භගවා තං පරිත්තං උදකාවසේසං ඡඩ්ඩෙත්වා ආයස්මත්තං රාහුලං ආමන්තෙසි; පස්සසි නො ත්වං ඡඩ්ඩිතං කො රාහුල තෙසං, සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජාන මුසාවාදෙ ලජ්ජාති.”

“අථ ඛො භගවා තං උදකාධානං නික්කුජ්ජිත්වා, ආයස්මන්තං රාහුලං ආමන්තෙසි; පස්සසි නො ත්වං රාහුල, ඉමං උදකාධානං නික්කුජ්ජිතන්ති? එවංභන්තෙ. එවං නික්කුජ්ජිතං ඛො රාහුල, තෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජාන මුසාවාදෙ ලජ්ජාති.”

“අථ ඛො භගවා තං උදකාධානං උක්කුජ්ජිත්වා, ආයස්මන්තං රාහුලං ආමන්තෙසි; පස්සසි නො ත්වං රාහුල, ඉමං උදකාධානං රිත්තං තුච්ඡන්ති? එවං භන්තෙ. එවං රිත්තං තුච්ඡං ඛො රාහුල, තෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජාන මුසාවාදෙ ලජ්ජාති.”

දිනක් බුදූරජාණන් වහන්සේ පා සෝදා දිය බඳුනෙහි වතුර ඇබිත්තක් ඉතිරි කොට රාහුල සාමණේරයන් අමතා “රාහුලය, මේ දිය බඳුනෙහි ඉතිරි වී ඇති වතුර ඇබිත්ත දක්නෙහි දැ’යි වදාරා, “එසේ ය” යි සැල කළ කල්හි “රාහුලය, බොරු කීමට ලැජ්ජා නැති තැනැත්තාට ඇති මහණකම මෙසේ ම ඇබිත්තකැ’යි වදාළ සේක.

ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ වතුර ඇබිත්ත ද විසි කොට රාහුල සාමණේරයන්ට දක්වා “රාහුලය බොරු කීමට ලැජ්ජා නැති තැනැත්තා ගේ මහණකම මෙසේ විසි කරන ලද්දකැ’ යි වදාළ සේක.

ඉක්බිති තථාගතයන් වහන්සේ දිය බදූන මුනින් නවා දක්වා “රාහුලය බොරු කීමට ලැජ්ජා නො වන්නාහු ගේ මහණකම මෙසේම මුනින් නැමුණේය” යි වදාළ සේක.

ඉක්බිති ඒ බඳුන මුව උඩට සිටින සේ තබා රාහුල සාමණේරයන්ට දක්වා “රාහුලය, බොරු කීමට ලැජ්ජා නැති තැනැත්තා ගේ මහණකම මේ බඳුන සේ ම සිස්ය”යි වදාළ සේක. මේ ඉහත දැක්වූ සූත්‍ර පාඨයේ අදහස ය.

සත්‍යයේ අනුසස්

“යෙ කෙචි මෙ අත්ථි රසා පතව්‍යා

සච්චං තෙසං සාධුතරං රසානං

සච්චෙ ඨිතා සමණා බ්‍රාහ්මණා ච

තරන්ති ජාති මරණස්ස පාරං”

“පොළොවෙහි යම් පමණ රස ඇත්තේ ද, ඒ රසයන්ගෙන් සත්‍යය හොඳම රසය වේ. සත්‍යයෙහි පිහිටියා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ජාති මරණයන්ගේ පරතෙරට යෙති ය” යනු එහි තේරුම යි. මෙලොව ම සත්‍යයෙහි පිහිටි තැනැත්තා කීර්තිය ඇතියෙක් වේ. ලෝකයා ගරු කරන්නෙක් වේ. විශ්වාසය තබන්නෙක් වේ. සත්‍යයේ බලයෙන් ආත්මාර්ථ පරාර්ථ දෙක ම සිදු කිරීමට සමතෙක් වේ. මෙසේ සත්‍යයෙහි ඇති බොහෝ අනුසස් මෙනෙහි කළ යුතු ය.

සත්‍යයෙහි පිහිටි උතුමන් ගේ චරිත අධිමුත්ත සාමණේරයන් වහන්සේ

අධිමුත්ත සාමණේරයෝ සංකිච්ච තෙරුන් වහන්සේගේ ගෝල නමකි. දිනක් සංකිච්ච තෙරුන් වහන්සේ සාමණේරයන් අමතා “සාමණේරය, දැන් තෙපි වැඩිවිය පැමිණ සිටින්නාහු ය. උපසම්පදා කරවීමට මාපියන් වෙත ගොස් වයස විචාරා එව’යි කීහ. සාමණේරයෝ පා සිවුරු ගෙන මාපියන්ගේ ගමට යන්නාහු අතර මඟ පිහිටි සොරුන් වෙසෙන මහ වනයෙන් මොබ නැඟණියන් ගේ ගෙයි දන් වළඳා තමන් වහන්සේගේ වයස විචාළහ. නැඟණියෝ, එය තමන් නො දන්නා බවත්, “මෑණියන් දන්නා බවත් කියා “මෑණියන් වෙත ගොස් අසනු මැනව”යි කීහ.

සාමණේරයෝ මෑණියන් වෙත යන්නාහු සොරුන් වෙසෙන වනයට ඇතුළු වූහ. සොරුන් ගේ දූතයෙක් උන්වහන්සේ දැක පැවිද්දකු වනයෙහි එන බව සොරුන්ට දැන්වීය. සොරු මඟ රැක සිට සාමණේරයන් අල්ලා ගත්හ. ඒ සොරුන්ගෙන් ඇතැමෙක් සාමණේරයන් මරා දමන්නටත්, ඇතැමෙක් මුදා හරින්නටත් කථා කළහ. ඔවුන් ගේ කථා ඇසු සාමණේරයෝ මම තවම මහන දම් පුරා අවසන් නොකළෙමි. මොවුන් විසින් මා මරා දැමුව හොත් මේ අත්බැව්හි මට රහත්වන්නට නො ලැබෙන්නේ ය. මොවුන් හා කථා කොට මාගේ ජීවිතය රැක ගත යුතු යි සිතා සොර දෙටුවා අමතා ඇවැත්නි, මම ඔබට උපමාවක් කියන්නෙමි.

“පෙර මහ වනයක මිනිසෙක් උගුලක් අටවා සාවකු මැරීය. සාවා මැරි සිටිනු දුටු මෘග පක්ෂීහු සැම දෙන ම මෙහි නපුරක් ඇත්තේ යයි එක් රැයකදි ම එම වනය හැර ගියෝය. එසේ ම කිසි ධනයක් නැති ශ්‍රමණයකු මෙම වනයෙහි දී මැරුවහොත් පැවිද්දකුටවත් බේරී යන්නට නොලැබෙන මෙම වනයට මින් පසු කිසිවෙක් නො එන්නාහ. ඉන්පසු ඔබට මගීන්ගෙන් ධනය පැහැර ගන්නට නො ලැබෙන්නේ ය යි” කීහ. එකල්හි සොර දෙටුවා මේ සාමණේරයන් කියන දෙය සැබෑ ය. මුන් වහන්සේ මැරුවහොත් මින් පසු මෙ මග මිනිස්සු නො එන්නාහ. අපට මින්පසු ධනය නො ලැබී යන්නේය යි වනයෙහි සොරු ඇති බව මඟ යන එන කිසිවකුට නොකියන ලෙස පොරොන්දු කරවා ගෙන සාමණේරයන් මුදා හැරියේ ය.

ඉදිරියට යන්නා වූ සාමණේරයන්ට තමන් ගේ මා පිය දෙදෙනා හා සහෝදරයා ද, සහෝදරී ද ඒ මඟ එනු හමු වූහ. සත්‍යයෙහි පිහිටි සාමණේරයෝ වනයෙහි සොරු ඇති බව ඔවුනට ද නො කීහ. තමන් ගේ මා පියන් රැක ගැනීමට ද පොරොන්දු කඩ නො කළහ. සාමණේරයන්ගේ නෑ පිරිස සොරුන් විසින් අල්ලා ගන්නා ලදහ. සොරුන් ඔවුනට පීඩා කරන කල්හි සාමණේරයන් ගේ මෑණියෝ “මේ අන්තරාය දැන දැන ද අධිමුත්තයෝ අපට නො කීහ යි කියමින් ළයෙහි අත් ගසමින් හඬන්නට පටන් ගත්හ. අධිමුත්තයන් ගැන කියමින් හඬනු අසා සොර දෙටුවා ඇගෙන් තොරතුරු විමසු කල්හි “මම අධිමුත්ත සාමණේරයන් ගේ මවය. මේ පියාය. මේ සහෝදරිය හා සහෝදරයා ය. අධිමුත්ත කළේ මහ අපරාධයෙක. මේ මේ අන්තරාය දැන දැන ම අධිමුත්තයෝ අපට නො කීහ” යි කීහ.

එකල්හි සොර දෙටුවා “මෙය ධර්මයෙන් ජීවත් වන ආර්‍ය්‍යයන් ගේ සැටිය. අධිමුත්ත සත්‍ය වාදියෙක, සත්‍යයෙහි පිහිටියෙක, පොරොන්දු කඩ නො කරන්නෙක, ඒ නිසා නුඹලා ගේ ඒම උන්වහන්සේ විසින් වළක්වා නැත. අධිමුත්තයන් වහන්සේ ගේ සත්‍ය වාදීත්වය නිසා නුඹලා ද මුදාහරින්නෙමි” යි ඔවුන් හැම දෙන ම මුදාහැර, ඒ කාරණයෙන් පැහැදුණා වූ සොරු සියලු දෙනා ම සාමණේරයන් වහන්සේ යටතේ පැවිදි වූහ. සාමණේරයෝ සොරුන් පන්සියය ද ගෙන තමන් ගේ ආචාර්‍ය්‍යවරයන් වහන්සේ වෙත ගොස්, තමන් පළමුවෙන් උපසම්පදාව ලබා සොරු පන්සිය ය තමන් වහන්සේ ගේ අතවැසියන් ලෙස පසුව උපසම්පදා කරවූහ. ඒ හැම දෙනා ම අධිමුත්තයන් වහන්සේ ගේ අවවාදයෙහි පිහිටා මහණ දම් පුරා රහත්ව නිවන් දුටහ.

හාරිත තාපස චරිතය

එක් කලෙක බෝසතාණන් වහන්සේ අසූ කෙළක් ධනය ඇති බමුණු පවුලක ඉපද සිප්සතර උගෙන වැඩිවිය පැමිණ මාපියන් ඇවෑමෙන් තමන්ට හිමි වූ ධනස්කන්ධය දන් දී හිමාලයට වැද, පැවිදිව භාවනා කොට සතියක් තුළදී පඤ්චාභිඥා උපදවා වන මුල් ඵලාහාරයෙන් යැපෙමින් එහි ම බොහෝ කලක් වැස, ලුණු ඇඹුල් සේවනය කරනු පිණිස එහි සිට ක්‍රමයෙන් බරණැස බලා අවුත් රාත්‍රියෙහි රජ උයනේ වැස, පසු දින බරණැස් නුවර පිඬු සිඟා වඩනාහු රජ මැදුර සමීපයට පැමිණියහ.

රජතුමා තාපසයන් දැක පැහැදී රජ මැදුරට වැඩමවා සේසත් ඔසවන ලද රාජාසනයෙහි වඩා හිඳුවා අග්‍ර රස භෝජනයන් වළඳවා, අනුමෙවෙනි බණ අසා වඩාත් පැහැදී “කොහි වඩනා සේක්දැ”යි අසා “වස් විසීමට තැනක් බලා ඇවිදිමුය”යි තාපසයන් වහන්සේ වදාළ කල්හි, සිය උයන්හි පන්සලක් කරවා බෝසතාණන් වහන්සේ එහි වස්වා උපස්ථානය උයන්පල්ලාට පැවරීය. බෝසතාණන් වහන්සේ දිනපතා රජ ගෙදරින් දන් වළඳමින් රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනය කෙරෙමින් විසූහ.

දොළොස් වසරක් ගත විය. දිනක් රජතුමා කිපුණා වූ පසල් දනවුවක් සන්සිඳවන්නට යන්නට සැරසී තාපසයන් වහන්සේ ගැන අප්‍රමාද විය යුතු බව සිය දේවියට කියා තාපසයන් වහන්සේට උපස්ථානය දේවියට පවරා ගියේය. එතැන් පටන් දේවිය බෝසතාණන් වහන්සේට සියතින්ම උපස්ථාන කරන්නීය. දිනක් දේවිය තාපසයන් වහන්සේ වැළඳවීමට බොජුන් පිළියෙළකර තබා බෝසතාණන් වහන්සේ පසුවන බැවින් මටසිළුටු සළුවක් හැඳ කවුළුව හැර තබවා ශරීරයට සුළං වදිනු පිණිස කුඩා ඇඳක වැතිර හුන්නාය.

බෝසතාණන් වහන්සේ කාලය පැමිණි කල්හි හැඳ පොරවා පාත්‍රය ගෙන අහසින් සිව්මැදුරු කවුළුව වෙත පැමිණියහ. දේවිය බෝසතාණන් වහන්සේගේ වැහැරි සිවුරු හඬ අසා වහා නැඟීටින්නී, හැඳි සළු ගිලීහි වැටිණ. දේවියගේ ශරීරය වූ විසභාගාරම්මණය බෝසතාණන්ගේ නෙතට හමුවත් ම, කිපුණු සර්පයකු සේ රාගය නැග අවුත් බෝසතාණන් ධ්‍යානයෙන් තොර කෙළේය. එකෙණෙහි තමන් පැවිද්දකු බව වත් සිතා ගැනීමට අපොහොසත් වූ බෝසතාණෝ වහා ගොස් දේවිය ගේ අත ගත්හ. එහි සිටියෝ එකෙණෙහි දෙදෙනා තිරයකින් මුවා කළහ.

බෝසතාණෝ දේවිය නිසා සිල් බිඳගෙන වළඳා අහසින් යා නො හැකිව පයින් ම උයනට ගොස් ඉන් පසු දිනපතා ම රජ මැදුරට එමින් දේවිය හා එසේ හැසිරෙන්නට පටන් ගත්හ. මේ ප්‍ර‍වෘත්තිය මුළු නුවර පැතිර ගියේ ය. ඇමතියෝ ඒ බව රජුට දන්වා යැවූහ. බෝසතාණන්ගේ ගුණ ගැන විශ්වාසය තැබූ රජතුමා ඇමතියන්ගේ හසුන් නො පිළිගත්තේය. එතුමා ප්‍රත්‍යන්තය සන්සිඳවා ආපසු ඇවිත් නගර ප්‍රදක්ෂිණා කොට දේවිය වෙත ගොස් ඇයගෙන් ද ඒ කාරණය විචාළේය. දේවිය ද එය සැබෑ බව කීවාය. රජතුමා එපමණින් ද කාරණය නො පිළිගෙන උයනට ගොස් තාපසයන් වැඳ එකත් පසෙක හිඳ “ඔබ කාම සේවනයට පටන් ගෙන තිබේය යන ආරංචිය සැබෑ දැ”යි විචාළේය.

එකල්හි තාපසයෝ සිතන්නාහු “මම එබන්දක් නො කෙළෙමි” යි කියුවහොත් මේ රජ ඒකාන්තයෙන් එය පිළිගන්නේය. මේ ලෝකයෙහි සත්‍ය වැනි අන් පිහිටක් නැත්තේ ය. සත්‍යයෙන් බැහැර වූවන්ට බෝ මුල හිඳ සම්බෝධියට නොපැමිණිය හැකිය. කුමක් සිදුවුවත් මා විසින් සත්‍ය ම කිව යුතුය’ යි.

“එව මෙතං මහාරාජ යථා තෙ වචනං සුතං

කුම්මග්ගං පටිපන්නොස්මි මොහනෙය්‍යෙසු මුච්ඡිතො”

මහරජ, ඔබ අප ගැන අසන ලද්ද එසේ ම ය. මම නො මඟ ගියෙමි, මුළා කරවන කාමයන් නිසා මුළා වුයෙමි” යි කීහ.

එකල්හි රජතුමා “ස්වාමීනි, ලෙඩට බෙහෙත් ඇත්තේ ය, පිපාසාවට පැන් ඇත්තේ ය, සාගින්නට බත් ඇත්තේ ය. එමෙන් කෙලෙස් සන්සිඳවීමට නුවණ ඇත්තේ ය. රාගය සන්සිඳවා ගන්නට නුපුළුවන් කල්හි ඔබ වහන්සේගේ තියුණු නුවණින් ඇති ඵලය කවරේදැ‘යි කීහ. එකල්හි තාපසයෝ -

“චත්තාරො මෙ මහාරාජ

ලොකෙ අතිබලා භූසා

රාගො දොසො මදො මොහො

යත්ථ පඤ්ඤා න ගාධතී”

යනුවෙන් “මහරජ, රාගය, ද්වේෂය, මදය, මෝහය යන මේවා ලෝකයෙහි මහා බලයෝ ය. ඒවා නැඟී සිටි කල්හි ඒ පුද්ගලයා කෙරෙහි ප්‍රඥාව නො පිහිටන්නේ ය”යි කීහ. රජතුමා තවත් කරුණු කී කල්හි තාපසයන් වහන්සේට නියම සිහිය ලැබී රජුගෙන් මඳකට අවසර ගෙන පන්සලට වැඩ නැවතත් වහා නැතී වී ගිය ධ්‍යානය උපදවා ගෙන අහසෙහි වැඩ හිඳ රජුට දහම් දෙසා, “මහරජ, මම අස්ථානයෙහි වාසය කිරීම නිසා මහා ජනයා මැද නින්දාවට පත් වූයෙමි. මම නැවත ස්ත්‍රී ගන්ධය නැති වනයට යෙමි”යි රජතුමා හඬද්දී ම හිමවතට ගොස් ධ්‍යාන සුවයෙන් කල් යවා බඹලොව උපන්හ.

මත්ස්‍යරාජ චරිතය

අතීතයෙහි කොසොල් රට සැවැත් නුවර ජේතවනාරාමයේ පොකුණ පිහිටි තැන මහ විලක් විය. එහි බොහෝ මත්ස්‍යයෝ විසුහ. බෝසතාණන් වහන්සේ ද මත්ස්‍ය යෝනියෙහි ඉපිද ඒ විලෙහි මසුන්ට රජව විසුහ. එසමයෙහි මහ නියඟයක් විය. බොහෝ වැව් පොකුණු ඇල දොලවල දිය සිඳී ගියේය. ගොවිතැන් පාලු විය. බෝසතාණන් වාසය කරන විල ද සිඳිණ. මත්ස්‍යයෝ මඩ යට සැඟවුණෝ ය. බොහෝ උකුස්සෝ ද, කපුටෝ ද, මඩ පිට හිඳ මඬේ සැඟවී දුබලව වෙසෙන මසුන් ඇද ඇද කන්නට වුහ. මසුන්ට මහා විනාශයක් විය.

බෝසතාණන් වහන්සේ තමන් ගේ පිරිසට වන මහා විනාශය දැක කරුණාවෙන් තෙත් වු ළය ඇත්තාහු “මේ මසුන් ගේ ශෝකය සන්සිඳවන්නට මා හැර අනිකෙක් නැත. කිනම් උපායකින් මොවුන් ගේ දුක සන්සිඳවන්නෙම් දැ”යි සිතන්නාහු. “පෙර බෝසතුන් විසින් පුරුදු කරන ලද්දා වු ද, මා කෙරෙහි ඇත්තා වු ද සත්‍ය ධර්මයේ බලයෙන් සත්‍යක්‍රියා කොට මහවැසි වස්වා, මාගේ නෑ පිරිසට ජීවිත දානය දිය හැකිය; ආහාරයෙන් ජීවත් වන ලෝකයාට මහෝපකාරයක් ද කළ හැකිය”යි සිතා –

“යතෝ සරාමි අත්තානං යතො පත්තොස්මි විඤ්ඤුතං

නාභිජානාමි සංවිච්ච එකපාණම්පි හිංසිතං:

එතෙන සච්චවඡ්ඡේන පප්ජුන්නො අභිවස්සතු :

අභිත්ථනය පඡ්ජුන්න නිධිං කාකස්ස නාසය,

කාකං සොකාය රන්ධෙහි මච්ඡෙ සොකා පමොචය”යි

සත්‍යක්‍රියා කළ සේක. එකෙණෙහි අහස් කුස පුරා මහ වැසි ඇති වී, අහස ගොරවමින් විදුලි කොටමින් කොසොල් රට පුරා මහා වැසි වැස්සේ ය. සැණෙකින් විල දියෙන් පිරී ගියේය. එදා බෝසතාණන් වහන්සේ තිරිසන් අත් බැව්හි සිට ගෙන කළ ඒ සත්‍යක්‍රියාවේ බලය අදත් පවත්නේ ය. එබැවින් චරියා පිටකයෙහි ගාථාවලින් දැක්වෙන මේ පුවත අදත් වැසි වස්වන පිරිතක් සැටියට භාවිත කරති.

මත්ස්‍යරාජ පිරිත

පුනාං පරං යදා හොමි මච්ඡරාජා මහාසරෙ,

උණ්හෙ සුරිය සන්තාපෙ සරෙ උදකං ඛීයථ

-

තතො කාකා ච ගිඡ්ඣා ච බකා කුලල සෙනකා,

භක්ඛයන්ති දිවා රත්තිං මච්ඡෙ උපනිසීදිය.

-

එවං චින්තෙස’හං තත්ථ සහ ඤාතීහි පීලිතො,

කෙන නුඛො උපායෙන ඤාති දුක්ඛා පමොචයෙ.

-

චින්තයිත්වාන ධම්මත්ථං සච්චං අද්දස පස්සයං,

සච්චෙ ඨත්වා පමොචෙසිං ඤාතීනං තං අතික්ඛයං

-

අනුස්සරිත්වා සද්ධම්මං පරමත්ථං විචින්තයං,

අකාසිං සච්ච කිරියං යං ලොකෙ ධුව සස්සතං

-

යතො සරාමි අත්තානං යතො පත්තො’ස්මි විඤ්ඤුතං,

නාභිජානාමි සඤ්චිච්ච එක පාණම්පි හිංසිතං,

එතෙන සච්චවඡ්ඡේන පප්ජුන්නො අභිවස්සතු

-

අභිත්ථනය පඡ්ජුන්න නිධිං කාකස්ස නාසය,

කාකං සොකාය රන්ධෙහි මච්ඡෙ සොකා පමොචය

-

සහකතෙ සච්චවරෙ පප්ජුන්නො අභිගජ්ජිය,

ථලං නින්නං ච පූරෙන්තො ඛණෙන අභිවස්සථ

-

එවරූපං සච්චවරං කත්වා විරිය මුත්තමං,

වස්සාපෙසිං මහාමෙඝං සච්චතෙජ බලස්සිතො

සච්චෙන මෙ සමො නත්ථි එසා මෙ සච්ච පාරමි.

නියඟින් රටවල් රාජ්‍යවල් විනාශ වන අවස්ථා වලදී බොහෝ දෙනා එක් වී ශීලයෙහි පිහිටා භක්තියෙන් යුක්ත ව රත්නත්‍රයට පුද පුජා පවත්වමින් මහා සංඝයා වහන්සේ ලවා මංගල සුත්‍රාදි ධර්මයන් හා මේ පිරිත කියවා ගැනීමෙන් වැසි වටනා බව කියති.

බෝසතාණන් වහන්සේ වට්ටක යෝනියෙහි ඉපිද සිටි අවස්ථාවකදී ද සත්‍යක්‍රියා බලයෙන් ලැව් ගින්නක් නිවා ගත්හ. ඒ සත්‍යක්‍රියාවේ ආනුභාවය ද අදත් පවතී. වට්ටක පිරිතය කියා ඒ සත්‍යක්‍රියාව මෙරට පිරිත් පොත් වලට ඇතුළු කර ඇතත් මත්ස්‍ය රාජ පිරිත මෙරට පිරිත් පොත්වල දක්නට නැත. එබැවින් මත්ස්‍යරාජ පිරිතෙන් අප රටටත් ප්‍රයෝජනයක් වෙතොත් වේවා යි එය මේ පොතට ඇතුළු කෙළෙමු.

සත්‍ය පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය

බොරු කීමෙන් වැළකී සෑම කල්හි සත්‍යය කීමත්, පොරොන්දු කඩ නො කොට සැම කල්හි සත්‍යයෙහි පිහිටා සිටීමත් සත්‍ය පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය ය. සත්‍යයක් නැති සත්‍යයෙහි නො පිහිටි තැනැත්තා කෙරෙහි අන් කිසි ගුණ ධර්ම ඇතත් ඒවායේ ද වටිනා කමක් නැත. අන් ගුණවල වටිනාකම ඇති වීමටත් සත්‍යයෙහි පිහිටීම නමැති මූල ගුණය තිබිය යුතුය. සත්‍යයෙහි නො පිහිටියකුට තුන්තරා බෝධියෙන් එකකට වත් නො පැමිණිය හැකි ය. ලොවුතුරා බුදු බව නො ලැබිය හැකි බව ගැන කියනුම කිම?

සත්‍යය උතුම් ගුණයක් වුව ද එහි පිහිටිම ලෙහෙසි නැත. සත්‍යයෙහි පිහිටා සිටින තැනැත්තන්ට එයින් නොයෙක් විට අලාභ හානි වෙයි. සතුරෝ ඇතිවෙති. සමහර විට ජීවිතයට පවා අනතුරු එයින් සිදුවිය හැකිය. සෑම කල්හි සත්‍යයෙහි පිහිටා සිටිය හැක්කේ ඒ සියල්ල ම විඳ දරා ගතහැකි ආත්ම ශක්තියක් ඇතිකරගත් උදාර අදහස් ඇති මහත්මයකුට පමණෙකි. සම්බෝධියට පැමිණෙනු කැමතියන් විසින් උදාර අදහස් ඇති, කිසිවකට කම්පා නො වන මහාත්මයන් විය යුතුය. සම්බෝධිය නමැති උසස් දෙය ලාමක අදහස් ඇති ආත්ම ශක්තිය නැතියන්ට හිමි නො වන දෙයක් බව සැලකිය යුතුය.

පොරොන්දු කඩ කිරිම ගුණයෙන් හීන, දීනයන්ගේ ස්වභාවයකි. බෝසතුන් විසින් එය නො කළ යුත්තකි. පොරොන්දුවක් කඩ කිරිම දිවි නසා ගැනීම තරමේ මහත් දෙයක් කොට බෝසතුන් විසින් සැලකිය යුතුය. ඉටුකරන්නට නුපුළුවන් පොරොන්දු, නො විය යුතුය. පොරොන්දුවක් වීමට කලින් එය තමන්ට ඉටු කළ හැකි වේද? නො හැකි වේද? යන්න ගැන හොඳින් කල්පනා කළ යුතුය. යම් කිසිවක් ඉටු කිරිම දුෂ්කර සේ පෙනෙනවා නම් ඒ දෙය ගැන පොරොන්දු නො විය යුතුය. බොහෝ දෙනා පොරොන්දු ඉටු නො කොට බොරුකාරයන් වන්නේ කලින් සිතා නො බලා ඉටු කළ නො හැකි පොරොන්දුවලට බැඳීමෙනි.

නුවණින් තොරව සත්‍ය කීමෙන් ද සමහර අවස්ථාවල දී තමාට හා අන්‍යයන්ට මහත් විපත් සිදු විය හැකිය. සත්‍යය පාවිච්චි කිරිමෙන් විපතක් වේය කියා බොරු කියත හොත් එයත් තමන්ට කර ගන්නා නපුරෙකි. කාහටවත් නපුරක් නො වන සැටියට සත්‍යයෙහි පිහිටා සිටිය හැකි වීමට නුවණින් යුක්ත විය යුතුය.

දිනක් දුටුගැමුණු රජතුමා ගේ මලණු තිස්ස කුමාරයෝ දුටුගැමුණු රජු හා යුද කොට පැරදී පලා යන්නාහු එක පන්සලකට පිවිස එහි වසන තෙරුන් වහන්සේට වැඳ “ස්වාමිනී, මා ගලවා ගනු මැනව’යි අයැද, තෙරුන් වහන්සේ සැතපෙන ඇඳ යටට වැද සැඟවුණෝය. දුටුගැමුණු රජ අවුත් විහාරය වට කොට එහි පිවිස “ස්වාමිනී, තිස්ස කොහිදැ”යි විචාළේය. රජකුගේ ප්‍රශ්නයකට පිළිතුරු නොදී ද නො සිටිය හැකි ය. ඉදින් තිස්ස කුමාරයන් සැඟවුණු තැන කියුව හොත් එයින් ද වන්නේ නපුරක් ය. තිස්ස කුමරු විහාරයෙහි නැත” යයි බොරු කියුව හොත් එයින් ද තෙරුන් වහන්සේගේ සිල් බිඳෙන්නේ ය.

නුවණින් ක්‍රියා නො කළ හොත් මෙබඳු අවස්ථා වලදී පක්ෂයකට විපත් වන්නේ ම ය. තෙරුන් වහන්සේ නුවණැති බැවින් “ඇඳේ තිස්ස නැතය” යි රජතුමාට කීහ. රජතුමා තිස්ස කුමාරයා ඇඳ යට සැඟ වී ඇති බව තේරුම් ගත් මුත් තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් කිසිවක් නො කීය. තෙරුන් වහන්සේ ඒ අවස්ථාවේහි දී නුවණින් ක්‍රියා කිරීමෙන් තිස්සකුමාරයන් හා තමන් වහන්සේගේ ශීල ගුණයත් රැක ගත්හ.

බුදුරජාණන් වහන්සේගේ නෑයන් වූ කිඹුල්වත්පුර විසූ ශාක්‍යවංශිකයෝ ද සත්‍යවාදීහු ය. ඔවුහු ජීවිතය නිසාවත් බොරු නො කියන්නෝ ය. ඔවුන් හා වෛර බැඳගෙන විසූ විඩූඩභ රජයට පත්වීමෙන් පසු ශාක්‍යයන් ගෙන් පළි ගැනීමේ අදහසින් සේනාවක් සමඟ කිඹුල්වත් පුරයට ගොස් “තමා ගේ මුත්තණුවන් වූ මහානාම ශාක්‍යයන් හා එතුමා වෙත සිටින්නවුන් ද හැර ශාක්‍යය යි කියන හැම දෙනා ම මරා දමව්”යි සේනාවට අණ කෙළේ ය. ප්‍රාණඝාතය නො කරන බැවින් ශාක්‍යයෝ විඩූඩභ ගේ සේනාවට පහර නුදුන්හ. විඩූඩභගේ සේනාව කිඹුල්වත් පුරයට වැද දුටු දුටු තැනැත්තා ගෙන් නුඹ ශාක්‍ය දැයි අසමින් ශාක්‍ය යි කියන හැම දෙනාම මරා දමන්නට වන්හ.

බොහෝ ශාක්‍යයෝ ඇත්ත කියා විඩූඩභ ගේ පුරුෂයන් අතින් මැරුම් කෑහ. “සාක” යනු පාලි භාෂාවෙහි පලාවලට නමෙකි. උපායෙහි දක්ෂ වු ඇතැම් ශාක්‍යයෝ විඩූඩභ ගේ පුරුෂයන් පැමිණ “නුඹ ශාක්‍ය දැ”යි අසන කල්හි කටේ තණ පත් තබා ගෙන “සාක නො වේය; තිණ” ය යි කීහ. ඇතැමෙක් බට දණ්ඩක් අතේ තබාගෙන නුඹ ශාක්‍ය දැ? ඇසූ කල්හි “සාක නො වේය; නළ” යයි කීහ. එසේ පිළිතුරු දුන් ශාක්‍යයෝ දිවි ලැබූහ.

ඇත්ත කියා මරණයට කැප වු ශාක්‍යයන් මෙන් විපතට පත් නො වීමට - තිස්ස කුමරුත්, තමන් වහන්සේ ගේ ශීලයත් රැකගත් තෙරුන් වහන්සේ මෙන් ද, බොරු නොකියා උපායෙන් දිවි ගලවා ගත් ශාක්‍යයන් මෙන් ද, තමාට හෝ අනුන්ට නපුරක් සිදු නො වන ලෙස නුවණින් සත්‍යය පාවිච්චි කරන්නට සත්‍ය පාරමිතාව පුරන පින්වතුන් විසින් උගත යුතුය.

සත්‍ය පාරමිතාවේ ප්‍රභේද

සත්‍යය කීමෙන් සමහර අවස්ථාවල දී කියන්නා හට නොයෙක් අලාභ හානි විය හැකි ය. සත්‍යය කියුව හොත් තමාගේ ධනයට හෝ අඹු දරු ආදීන්ට හානි විය හැකි ව තිබෙන අවස්ථාවේ දී ධනය රැක ගැනීමට අඹු දරුවන් රැක ගැනීමට බොරු නොකියා සත්‍යය ම කීමත්, පොරොන්දු කඩ නො කළ හොත් ධනයට හෝ අඹු දරු ආදීන්ට හෝ හානියක් විය හැකි තැන දී ධනාදිය නිසා පොරොන්දු කඩ නො කොට සත්‍යයෙහි පිහිටීමත් සත්‍ය පාරමිතාව ය.

සත්‍යය කියුව හොත් තමා ගේ ශරිරාවයවයන්ට හානි විය හැකි අවස්ථාවල දී ශරිරාවයවය රැකීමට බොරු නොකියා සත්‍යය ම කීමත් පොරොන්දු කඩ නො කළහොත් ශරිරාවයවයන්ට හානි විය හැකි අවස්ථාවල දී ශරිරාවයවයන් රැක ගැනීමට ද පොරොන්දු කඩ නො කොට සත්‍යයෙහි පිහිටීමත් සත්‍ය උප පාරමිතාව ය.

සත්‍යය කියුව හොත් ජීවිතය හානි විය හැකි අවස්ථාවල දී ජීවිතය රැක ගැනීමට ද බොරු නොකියා සත්‍යය ම කීමත් පොරොන්දු ඉටු කළ හොත් ජීවිතය හානි විය හැකි අවස්ථාවල දී ජීවිතය රැක ගැනීමට පොරොන්දු කඩ නොකොට සත්‍යයෙහි පිහිටීමත් සත්‍ය පරමාර්ථ පාරමිතාව ය.

8. අධිෂ්ඨාන පාරමිතාව

සම්බෝධිය පිණිස පුරන පාරමිතාවන්ට අයත් වූ දාන ශීලාදී සත් ක්‍රියාවන්ගෙන් කවරක් හෝ මෙසේ කරමිය, මෙතෙක් කල් කරමියයි සිතින් නියම කරගෙන ඒ නියමය අඩු නොකොට කඩ නොකොට සම්පූර්ණ කිරීම් වශයෙන් එහි පිහිටීම අධිෂ්ඨාන පාරමිතාව ය.

චරියාපිටක අටුවාවෙහි “කරුණුපාය කොසල්ල පරිග්ගහිතං අචල සමාදානාධිට්ඨානං තදාකාරප්පවත්තෝ චිත්තුප්පාදෙ අධිට්ඨාන පාරමිතා” යි මහා බෝධි අධිෂ්ඨාන පාරමිතාව දක්වා තිබේ. කරුණාවෙන් හා උපාය කෞශල්‍යයෙන් පරිගෘහිත අචල සමාදාන සංඛ්‍යාත අධිෂ්ඨානය හෙවත් ඒ ආකාරයෙන් පවත්නා සිත අධිෂ්ඨාන පාරමිතාව යනු එහි තේරුමයි.

බෝධිත්‍රය අතුරෙන් කවරකට වුවත් පැමිණිය හැකි වීමට බොහෝ පින් තිබිය යුතුය. පව මිස පින සත්ත්වයනට එතරම් ප්‍රිය දෙයක් නොවේ. එබැවින් අධිෂ්ඨාන ශක්තිය නැති තැනැත්තා කලින් කරන්නට සිතා අවස්ථාව පැමිණි කල්හි සමහර විට එය නොකර හරින්නේය. සිතුවාට වඩා අඩු කොට කරන්නේ ය. දහසක් දෙන්නට සිතා සියයක් දීමෙන් නවතින්නේය. මසක් සිල් රකින්නට සිතා පටන් ගෙන සතියකින් නවතින්නේය. දිවි හිමියෙන් මහණ දම් පුරන්නට සිතා පැවිදිව, කලකදී ගිහි බවට පැමිණෙන්නේ ය. එසේ නොවී සිතූ සැටියෙන් ඒ පින් සම්පුර්ණ කළ හැකි වීමට අධිෂ්ඨාන ශක්තිය තිබිය යුතුය.

අධිෂ්ඨාන මාත්‍රය මහ පිනක් නො වතුදු අධිෂ්ඨාන ශක්තිය නැතියන්ට පාරමිතා සම්පුර්ණ නො කළ හැකි බැවින් අධිෂ්ඨානය ද එක් පාරමිතාවක් වශයෙන් ගණන් ගනු ලැබේ. මෙය දානාදි පාරමිතාවන් හා බැඳී පවතින පාරමිතාවෙකි.

අධිෂ්ඨාන පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය

අධිෂ්ඨාන පාරමිතාව පිරිය හැකිවීමට අධිෂ්ඨාන ශක්තිය නැති අයගේ දුබල බවත්, අධිෂ්ඨාන ශක්තියේ ගුණත්, අධිෂ්ඨාන ශක්තිය ඇතියවුන් ගේ චරිතත් මෙනෙහි කළ යුතු ය.

ගංගාතීරිය තෙරුන් වහන්සේ

සැවත්නුවර “දත්ත” නම් වූ ගෘහපති පුත්‍රයෙක් සසර කලකිරී බුදු සස්නෙහි පැවිදිව, පාංසුකූල චීවරයන් හා සොහොන් වලට දිය ඉසින බඳුනක් බඳු මැටි පාත්‍රයක් ද ගෙන ගං ඉවුරක තල්පත් තුනකින් කළ කුඩා කුටියක විසුවේය. ගං ඉවුරෙහි වෙසන බැවින් ඒ තෙරුන් වහන්සේගේ නම “ගංගාතීරිය” නම් විය.

ඒ තෙරුන් වහන්සේ “රහත් නො කිසිවෙකු හා කථා නොකරමි”යි ඉටා ගෙන පළමුවන අවුරුද්ද ඒක වචනයකුදු කිසිවකු හා කථා නො කොට ම මගණ දම් පිරූහ. දෙවන අවුරුද්දේ දී ද ඒ තෙරුන් වහන්සේ පිඬු සිඟා වඩනා ගමෙහි එක් ස්ත්‍රියක් “තෙරුන් වහන්සේ ගොළුවෙක් ද ? නැත දැ’යි විමසනු පිණිස පාත්‍රයට කිරි වත් කරන්නට පටන් ගත්තාය. තෙරුන් වහන්සේ අතින් සංඥා කළ මුත් ඕ නවත්වා ම වත් කළා ය. එදා ඇයට “ඇත නැගණිය” යන වචනය උන්වහන්සේ කීහ. තුන් වන වසේ දී උන්වහන්සේ රහත්ව මේ ගාථා වදාළහ.

“තිණ්ණං මෙ තාලපත්තානං ගංගා තිරෙ කතා කුටී

ඡව සිත්තොව මෙ පත්තො පංසුකූලං ච චීවරං

ද්වින්නං අන්තරවස්සානං එකා වාචා මෙ භාසිතා

තතියෙ අන්තරවස්සම්හි තමොක්ඛන්ධො පදාළිතො”

“ගං ඉවුරෙහි මාගේ කුටිය තල්පත් තුනකින් කරන ලද්දක් ය. මාගේ පාත්‍රය සොහොන් ගිනි නිවීමට දිය ඉසින බඳුනක් බඳුය. චීවරය පංසුකූල චීවරයෙක. මා විසින් දෑවුරුද්දකට කථා කරන ලදුයේ එක්වචනයෙක, තුන්වන වසරෙහි මෝහස්කන්ධය බිඳින ලද්දේ ය” යනු එහි තේරුම ය.

සිවි රජතුමා

සිවි රට අරිෂ්ට පුරයේ රජකළ සිවි මහරජාණෝ නගරද්වාර සතර ය, නුවර මැද ය, රාජ භවන සමීපය ය යන ස්ථාන සයෙහි මහා දැන් සැල් සයක් කරවා දිනකට ලක්ෂ සය බැගින් වැය කෙරෙමින් දුගී, මගී යාචකාදීන්ට දන් දුන්හ. රජතුමා පොහෝ දිනයන්හි දන් සැල් බලා ඇවිදින්නේ ය. එතුමා එක් පසළොස්වක් පොහෝ දිනක උදෑසන රාජ පර්‍ය්‍යංකයෙහි හිඳ, සිතනුයේ “මා විසින් බාහිර වස්තුන් ගෙන් නුදුන් දෙයක් නැත. බාහිර වස්තු දානය ම මට ප්‍රමාණ නොවන්නේය. මා විසින් ආධ්‍යාත්මික වස්තු ද දිය යුතු ය. මාගෙන් ආධ්‍යාත්මික වස්තුවක් ඉල්ලන්නට ප්‍රතිග්‍රාහකයෙකු පැමිණිය හොත් යෙහෙක, ඇසක් වුවත් ඉල්ලන කෙනෙකු පැමිණියහොත් මම මාගේ ඇස් උපුටා දෙමි’ය යි සිතා ගත්තේය.

රජතුමාගේ සිතිවිල්ල සක් දෙවිඳුට පෙනී “මේ රජු ඉටාගත් සැටියට ම එය ඉටු කිරීමටත් සමත් වේදැයි විමසන්නෙමි” යි සිතා සිවි රජු දන් සැල් බැලීමට යන මඟ මහලු බමුණු වෙසින් සිට ඇස් ඉල්ලීය. සිවි රජතුමා තමා කළ අධිෂ්ඨානය කඩ නො කොට බමුණා රජ මාලිගයට ගෙන්වා තමාගේ නෙත් උපුටවා බමුණාට දුන්නේය. (විස්තර ජාතක අටුවාවෙන් බලනු)

සංඛපාල නාගරාජයෝ

බෝසතාණන් වහන්සේ සංඛපාල නාගරාජ වූ කාලයේදී, “කණ්හවණ්ණ” නම් වූ ගඟ සමීපයේ මහ මඟකට හා එක් පිය මඟකට ද අතර වනයේ තුඹසක් සමීපයේ පෙහෙවස් වෙසෙති. නාග රාජයෝ එහි පැමිණ, “මාගේ සම වුවමනා කෙනෙක් සම ගනිත්වා, ඇට, මස් නහර වුවමනා කෙනෙක් වෙත් නම් ඒවාත් ගනිත්වා”යි අධිෂ්ඨාන කොට තමන් වහන්සේ ගේ සිරුර දාන මුඛයෙහි තබා සිල් සමාදන්ව තුඹස මත වෙසෙන දිනයක, පසල් දනව් වැසි මිනිසුන් සොළොස් දෙනෙක් මස් සොයා වනයෙහි ඇවිද එකම සතකුවත් නොලබා ආපසු එන්නාහු, තුඹස මත සයනය කරන බෝසතුන් දැක “අද මේ නාගයා මරා කමුය”යි හුල් ආදිය ගෙන එතනට ලං වූහ. නාගරාජයන්ගේ ශරීරය ඔරු කඳක් සේ මහත්ය.

ඒ මිනිසුන්ගේ පිය ගැටෙන හඬ අසා බෝසතාණෝ හිස ඔසවා බලා, හුල් ආදිය ගෙන එන ඒ නපුරු මිනිසුන් දැක, “මම මාගේ ශරීරය දාන මුඛයෙහි තබා හොත්තෙමි, අද මාගේ අදහස මුදුන් පත් වන්නේ ය”යි සිතා, “මොවුන් මාගේ ශරීරය කෙසේ කැපුවත් කෙටුවත් කිපී ඇස හැර නොබලමි”යි තදින් අධිෂ්ඨාන කර හිස දරණ අතරෙහි තබා සයනය කළහ. ඔවුන් පැමිණ වලිගයෙන් ඇද බෝසතාණන් බිම හෙළා, අට තැනකින් හුල්වලින් ශරීරය සිදුරු කොට ඒවායේ කටු සහිත වේවැල් දමා කත් ලී අටක බැඳ, කරින් ඔසවාගෙන යන්නට පටන් ගත්හ.

බෝසතාණන් වහන්සේ එක වරක් විෂ පිඹ හැරීමෙන් ඒ හැම දෙනාම මොහොතකින් විනාශ කර දැමීමට සමත් වුවද තමන් වහන්සේගේ අධිෂ්ඨානය කඩ නො කොට ඒ සියලු වේදනා, කෝප නොවී ඉවසා සිටියහ.එසේ ගෙනි යනු ලබන කල්හි බෝසතාණන් වහන්සේ දුබල වීමෙන් හිස නැමී පොළවෙහි සපෙන්නට විය. එකල්හි ඒ මිනිස්සු බෝසතාණන් නැවතත් බිම දමා හුලක් ගෙන නාසය විද බිම නොසැපෙන ලෙස ලණුවකින් කත් ලීයෙහි බැඳ ගෙන නැවතත් ඔසවා ගෙන ගියහ. බෝසතාණන් වහන්සේ කොතෙක් වේදනා ඇති වුවත් තමන් වහන්සේගේ අධිෂ්ඨානයෙහි පිහිටා සියල්ල ඉවසුහ. වද දෙමින් ගෙන යනු ලබන බෝසතාණන් ඒ මඟ “ආලාර” නම් කාරුණික වෙළෙන්දෙක් දැක මිනිසුන්ට මිල දී මුදා හැරියේය.

තේමීය පණ්ඩිත චරිතය

අතීතයේ බරණැස් නුවර එක් රජකුට දරුවෝ නොවුහ. රට වැස්සෝ රාජ වංශය ඉදිරියට ගෙන යාමට කෙනෙකු නැති බව දැක, රැස් වී දරුවන් පතන ලෙස රජුට දැනුම් දුන්හ. රජතුමා අන්තඃපුරයේ සොළොස් දහසක් ස්ත්‍රීන්ට හා අගමෙහෙසිය වූ චන්ද්‍රා දේවියට ද දරුවන් පතන ලෙස නියම කෙළේ ය. චන්ද්‍රා දේවිය පසළොස්වක පොහොය දිනයෙහි තමාගේ ශීලය මෙනෙහි කොට “ඉදින් මම පිරිසිදු සිල් ඇත්තියක් බව සැබෑ නම්, ඒ සත්‍යානුභාවයෙන් මට පුතෙක් ලැබේවා” යි සත්‍යක්‍රියා කළාය.

ඇගේ ශීල තේජසින් සක් දෙවිඳුගේ අසුන උණු විය. සක් දෙවිඳු අස්න උණුවීමේ කාරණය දැන චන්ද්‍රා දේවියට දරුවකු ලබා දෙන්නට සිතා ඇගේ දරු ගැබට සුදුසු කෙනෙකු සොයන්නේ තව්තිසා දෙව් ලොව ඉපිද ආයුෂ ගෙවී මතු දෙව් ලොවක උපදිනු රිසියෙන් සිටින බෝසතාණන් වහන්සේ දැක, එහි ගොස් “යහළුව, මිනිස් ලොව උපන හොත් ඔබට පැරුම් දම් පුරන්නට ලැබෙන්නේය. ඔබ නිසා මහා ජනයාට ද වැඩ සිදු වන්නේය, බරණැස් රජුගේ දේවිය දරුවකු පතන්නීය. ඔබ ඇගේ කුස පිළිසිඳ ගනු මැනව” යි කීය.

බෝසතාණන් වහන්සේ සක් දෙවිඳුගේ ඉල්ලීම පිළිගෙන චන්ද්‍රා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේ මව් කුසින් බිහිවූ දිනයෙහි මහවැසි වැස මුළු කසී රට තෙමී ගිය බැවින් ද රජුගේ හා ඇමති ආදියන්ගේ ළය ප්‍රීතියෙන් තෙත්වී ගිය නිසාද, උන්වහන්සේට “තේමීය කුමාරයෝ” යයි නම් තැබුහ.

ඉපිද මසකට පසු තේමීය කුමාරයාණන් සරසා බරණැස් රජු වෙතට ගෙන ගියේය. රජතුමා ලදරුවා ඇකයෙහි තබා සුරතල් කරමින් සිටින වේලෙහි සොරුන් සතර දෙනෙකුන් එතුමා ඉදිරියට ගෙනාවෝය. රජතුමා එයින් එකකුට දහසක් කස පහර දීමටත්, එකකු සිරගෙට යැවීමටත්, එකකුට සැත් පහර දීමටත්, එකකු උල හිඳුවීමටත්, නියම කෙළේ ය. ඇකයෙහි හුන් කුමරා පිය රජුගේ කථාව අසා සංවේගයට පැමිණ “අහෝ මාගේ පියා මේ රජකම නිසා අපායේ උපදවන පව්කම් කරන්නේය”යි සිතුවේය.

දෙවන දිනයෙහි කුමරා සේසත යට සරසන ලද ඇඳෙහි සැතප වුහ. එහි මඳක් සැතපී ඇස හැර බැලු බෝසත් කුමරාට මහත් වූ ශ්‍රී සෞභාග්‍යය දැක මහා භයක් ඇතිවිය. “මම මේ රජ ගෙදරට කොයින් ආයෙම්දෝ”යි සිතන්නා වූ කුමරාට ජාතිස්මරණ ඥානය ඇතිවිය. කුමාරයාණන්ට අතීතයෙහි එහි විසි වසක් රාජ්‍ය කිරීම නිසා පව්කම් කොට අවුරුදු අසු දහසක් ඔසුපත් නරකයක පැසෙන්නට සිදුවූ බව පෙනිණ. එයින් වඩාත් සංවේගයට පත් බෝසතාණෝ පව්කම් වලින් වැළකී කළ නොහෙන මේ රජකමෙන් මට කම් නැත. “කෙසේ මම රජගෙදරින් මිදෙන්නෙම් දැ”යි සිතමින් සැතපුනාහ.

බෝසතාණන් වහන්සේ දොම්නසින් වැතිර සිටින කල්හි පෙර ජාතියක උන් වහන්සේට මව් වූ දේවතා දුවක් පෙනී සිට, බෝසතාණන් අමතා “දරුව, බිය නොවව, ගොළුවකු සේ ද, බිහිරකු සේද, කොරකු සේ ද, විසීමෙන් මේ රජ ගෙදරින් ඔබට මිදිය හැකිය.” යි කීවා ය. බෝසතාණන් වහන්සේ තමන් මේ රජ ගෙදරින් බැහැර කරන තුරු ගොළුවකු සේ ද, බිහිරකු සේද, කොරකු සේ ද, වෙසෙන සැටියට තදින් අධිෂ්ඨාන කර ගත්හ.

තමන් වහන්සේ කරගත් අධිෂ්ඨානයේ පිහිටා සිටීමෙන් බෝසතාණන් වහන්සේ ඇවිදින - කතා කරන වයසට පැමිණියාහු ද ගොළුවකු - බිහිරකු - කොරකු ලෙස ම කිසි කථාවක් නොකොට කාගේවත් වචනයකට ඇහුම් කන් නොදී නොසැලී උන්හ. මා පිය ආදීහු බෝසතාණන් ගේ එසේ විසීම ගැන ශෝකයට පැමිණ “බිහිරන් ගේ කන් මෙසේ නොවේය; ගොළුවන් ගේ කම්මුල් මෙසේ නොවේය; පිළුන්ගේ අත් පා මෙසේ නොවේය; මේ කුමරා ගොළුවෙක් බිහිරෙක් කොරෙක් වන්නට නුපුළුවන. මෙහි යම් කරුණක් තිබිය යුතුය.” යි කුමාරයන් විමසන්නට පටන් ගත්හ.

කුමාරයන් විමසනු පිණිස සමහර විට මුළු දවසම කිරි නොදෙති. කිරි නොලැබීමෙන් උගුර කට වියළී යන්නේ වී නමුත් අධිෂ්ඨානයෙහි පිහිටා බෝසතාණෝ කිසි ශබ්දයක් නොකරති. දරුවා ගේ නිරාහාරව සිටීම නො ඉවසිය හැකි මෑණියෝ පසුව කිරි දෙවති. මෙසේ වරින් වර කිරි නොදී වර්ෂයක් ම විමසු නමුත් කුමාරයන් ගේ වෙනසක් නොදුටුවෝ ය.

ඉන්පසු දරුවෝ රස කැවිලිවලට කැමති වෙතියි ද, ඵලා ඵලයට කැමති වෙති යි ද, සෙල්ලම් බඩුවලට කැමති වෙති යි ද, භෝජන වලට කැමති වෙති යි ද, ඒ දේවලින් පස් අවුරු වයස් වන තෙක් කුමාරයන් විමසු හ. බෝසතාණෝ මඳකුදු නො සැලී අධිෂ්ඨානයේ පිහිටා උන්හ. ඉක්බිති “පස් අවුරුදු දරුවෝ ගින්නට බිය වෙතියි ගින්නෙන් විමසමු ය” යි මහ ගෙයක් කරවා තල්පත් සෙවෙලි කරවා සමාන වයස් දරුවන් හා බෝසතාණන් එහි මැද හිඳවා ගෙට ගිනි තැබුහ. ගෙය ගිනි ගත් කල්හි සෙසු දරුවෝ පලා ගියහ. බෝසතාණෝ දැවී මිය යෑම අපායේ පැසීමට වඩා යෙහෙකැ යි අධිෂ්ඨානය නො බිඳ සමාපත්තියට සමවන් කෙනෙකු සේ ගිනි ඇවිලෙන ගෙය මැද උන්හ. ගින්න හොඳට ම ළං වූ කල්හි බෝසතාණෝ බැහැරට ගත්හ.

බෝසතාණෝ සය අවුරුදු වයසට පැමිණි කල සය අවුරුදු දරුවෝ මතැතුන්ට බිය වෙති’යි ඇතුන් කරණ කොට ගෙන විමසනු පිණිස, සෙසු දරුවන් හා බෝසතාණන් මිදුලේ හිඳුවා ඇතු එවුහ. පුරුදු කරන ලද පරිදි ඇතු නාද කරමින් සොඬින් පොළොවට පහර දෙමින් බිය ගන්වමින් ආයේ ය. සෙසු දරුවෝ හිස් ලූ ලූ අත පලා ගියහ. බෝසතාණෝ අධිෂ්ඨානය නො බිඳ, නො සැලී උන්හ. ඇතු අවුත් කුමාරයන් ඒ මේ අත පෙරළා ගියේය.

මෙසේ නැවත විමසා බෝසතුන් ගේ වෙනසක් නො දැක සත් අවුරුදු වයසට පැමිණි කල්හි සර්පයන් කරණකොට විමසන්නට පටන් ගත්හ. බෝසතාණන් සෙසු දරුවන් හා වෙසෙන කල්හි, දල උදුරන ලද සර්පයන් ඒ පිරිස මැදට දැමුහ. සෙසු දරුවෝ කෑ ගසමින් පලා ගියහ. බෝසතාණෝ සර්පයන්ගෙන් මිය යොත් මිය යේවා යි අධිෂ්ඨානය නො බිඳ නොසැලී උන්හ. සර්පයෝ ඇඟේ වෙළුණාහ. එහෙත් බෝසතාණෝ නිශ්චලව ම උන්හ.

ඉක්බිති නැටුම් දැක්වීමෙන් විමසුහ. එයින්ද බෝසතාණන් ගේ වෙනසක් නො දැක, කඩුවෙන් විමසනු පිණිස පුරුෂයකු යෙද වුහ. සෙසු දරුවන්ට හා තේමිය කුමරුන්ට රජ මිදුලෙහි ඉන්නට හැර සෙසු දරුවන් සෙල්ලම් කරමින් ඉන්නා වේලෙහි එක් පුරුෂයකු දිලිසෙන කඩුවක් කරකවමින් එහි අවුත් “කසී රජුගේ කාලකණ්ණි පුත්‍රයා කොහි ද? ඔහුගේ හිස සිඳින්නට ඕනෑය” යි කියමින් ඒ මේ අත දුවන්නට විය. සෙසු දරුවෝ බියෙන් වෙව්ලා පලා ගියහ. බෝසතාණෝ අධිෂ්ඨානය නො බිඳ නිශ්චලව උන්හ.

ඉන් පසුත් බෝසතාණන් වහන්සේ විමසනු පිණිස මැස්සන් ලවා කැවීම්, ගින්නෙන් රත් කිරීම ආදියෙන් උන්වහන්සේට නොයෙක් දුක් දුන්හ. මා පියෝ ද ඒ ගොළුවත අත්හරින ලෙස නොයෙක් අයුරින් යාච්ඥා කළෝය. එහෙත් රජ ගෙදරින් බැහැර කරන තුරු උන්වහන්සේ තමන්ගේ අධිෂ්ඨානයේ පිහිටා විසුහ. උන්වහන්සේ කථා කළේත්, ඇවිද්දේත් සොළොස් අවුරුදු වියේ දී රජ ගෙයින් බැහැර කල පසුය.

අධිෂ්ඨාන පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය

අධිෂ්ඨාන ශක්තිය නැති බව සම්බෝධියට පැමිණීමට තබා උගෙනීම් ආදී ලෞකික කර්ම සාර්ථක කරගැනීමට ද මහත් බාධාවෙකි. දුෂ්කර දේ සිදු කර ගත හැකි වන්නේ “මම මෙය කරමිය” යන ස්ථිර අධිෂ්ඨානයක් ඇති කර ගෙන එහි පිහිටා සිටින තැනැත්තාටය. උගෙන ගන්නා ශිෂ්‍යයෙක් එක දෙයක් මඳ කලක් උගෙන එය අමාරු ය කියා හෝ එයින් ප්‍රයෝජන නො ලැබිය හැකිය කියා හෝ තව කලක දී තවත් දෙයක් උගෙනීමත්, එයත් අත්හැර තවත් කලක දී තවත් දෙයක් උගෙනීමත් කරන්නට පටන් ගනී නම් එබඳු තැනැත්තාට උගතකු නොවිය හැකි ය.

එක් තැනක උගෙනීම කරමින් සිට එතන නරකය කියා තවත් තැනකටත්, එතන නරකය කියා තවත් තැනකටත්, යෙමින් ස්ථාන මාරු කරන තැනැත්තාට ද උගතකු වීම දුෂ්කර ය. රැකී රක්ෂාවන් පිළිබඳව ද එය එසේ ම ය. එබැවින් සැම දෙයක් ම කරන සැම දෙනාටම ඒ ඒ දෙය සිදු කර ගත හැකි වීමට අධිෂ්ඨාන ශක්තිය තිබිය යුතුය. සම්බෝධියට පැමිණෙනු කැමතියන් විසින් අනුක්‍ර‍මයෙන් පුරුදු කිරීමෙන් බලවත් අධිෂ්ඨාන ශක්තියක් ඇති කර ගත යුතු ය.

සම්බෝධිය පිණිස අධිෂ්ඨාන ශක්තිය පුරුදු කළ යුත්තේ ශීලාදී ගුණයන් පුරුදු කිරීම් වශයෙනි. කිසි ගුණ ධර්‍මයක් පුරුදු කර නැති තැනැත්තන් විසින් එය පඤ්චශීලයෙන් පටන් ගත යුතුය. බොහෝ දෙනා විසින් රැකීමේ බලපොරොත්තුවක් නැතිව, සික පද කීම් වශයෙන් පමණක් සමාදන් වන පඤ්ච ශීලය වැඩක් නැති එකකි. දීර්ඝ කාලයක් නො කඩ කොට පන්සිල් රැකීම දුෂ්කර කරුණෙකි. පඤ්ච ශීලයේ වටිනාකම ඇති වන්නේ දීර්ඝ කාලයක් රැකීමෙනි. විනාඩි ගණනක් පැය ගණනක් රකින ශීලයේ වටිනා කමක් නැත.

අධිෂ්ඨාන ශක්තිය ඇති වීමට පළමුවෙන් සතියක් පන්සිල් අධිෂ්ඨාන කරගෙන ඒ සතිය තුළ දී කොපමණ අමාරුවකට වත් එක සික පදයක් වත් නො කඩ කොට ශීලය රැකිය යුතුය. මෙසේ සතියෙන් සතිය පුරුදු කොට මාස වලින් ද අවුරුදු වලින් ද එය පුරුදු කරනු. එසේම අටසිල් රකින්නට අධිෂ්ඨාන කර ගෙන එයද පුරුදු කළ යුතුය. එය පුරුදු කරන තැනැත්තා මේ මාසයේ පෝය සතරට ම සිල් සමාදන් වෙමි’යි අධිෂ්ඨාන කරගෙන එය නොකඩා කළ යුතුය. මේ වර්ෂයේ පසළොස්වක් පෝය දොළසට ම සිල් සමාදන් වෙමිය කියා හෝ ඉටා ගෙන එසේ කළ යුතුය. “මම අද කිසිවකුට කෝප නොවී කිසිවකුට පීඩාවක් නොකොට මෛත්‍රියෙන් වෙසෙමි”යි මෛත්‍රිය අධිෂ්ඨාන කර ගෙන ඒ දිනයෙහි නො කඩ කොට එය පැවැත්විය යුතුය.

ක්‍රමයෙන් දින ගණන් වැඩි කර පුරුදු කරනු. මම මෙපමණ වෙලාවක් භාවනා කරමි”යි ඉටා ගෙන මොන ම කරුණක් නිසාවත් නොනවත්වා නියමිත කාලය සම්පුර්ණ වන තෙක් භාවනා කරනු. බුලත් දුම්කොළ සැපීම, දුම් බීම කරන්නවුන්ට පැය ගණන් දින ගණන් ඒවායෙන් වැළකීම් වශයෙන් අධිෂ්ඨානය පුරුදු කළ හැකිය. අධිෂ්ඨාන ශක්තිය නැතියන්ට පුරුදු වූ නො මනා සිරිත් අත හැරීම දුෂ්කර ය.

පැවිද්දන්ට ද “මේ සතියේ එකම ඇවතකට වත් නොපැමිණ වෙසෙමිය” යනාදීන් කාල පරිච්‌ෙඡ්ද කර අධිෂ්ඨාන කර ගැනීමෙන් අධිෂ්ඨානය පුරුදු කළ හැකිය. ධුතාංග රැකීම ද අධිෂ්ඨාන ශක්තිය ඇතිකර ගැනීමට උපායෙකි. ඒවා ද කාලපරිච්‌ෙඡ්ද කොට අධිෂ්ඨානය ඇති කර ගෙන රැකිය හැකිය. කුඩා කුඩා දේ ගැන අධිෂ්ඨාන කොට ශක්තිය ලබා ගත් තැනැත්තාට ක්‍රමයෙන් කුමක් වුවත් අධිෂ්ඨාන කොට එහි පිහිටීමේ ශක්තිය ලැබෙන්නේය.

අධිෂ්ඨාන පාරමිතාවේ ප්‍රභේද

යම් කිසි අධිෂ්ඨානයක් කර ගෙන සිටින සමහරු තමන්ට අලාභයක් වන කල්හි එය කඩ කරති. අධිෂ්ඨානය කඩ කිරීමෙන් යම් කිසිවක් ලබා ගත හැකි අවස්ථාවක් එළඹිය හොත් ලාභාශාවෙන් අධිෂ්ඨානය කඩ කරති. අඹුදරුවන් ගේ කීම් වලට අවනත වීම් වශයෙන් ද, අඹුදරුවන් ගේ කටයුතු නිසා ද අධිෂ්ඨානය කඩ කරති. එසේ කඩ කරන දුර්වල අධිෂ්ඨානයන් සම්බෝධියට පැමිණීමට ප්‍රමාණ නොවන බැවින් ඒවා අධිෂ්ඨාන පාරමිතාව ලෙස ගණන් ගනු නො ලැබේ. ධනය නිසාවත් අඹු දරු ආදීන් නිසාවත් නොකඩන ශක්තිමත් අධිෂ්ඨානය; අධිෂ්ඨාන පාරමිතාව ය.

ධනාදිය නිසා අධිෂ්ඨානය නො කඩන ඇතැම්හු තමන්ගේ අධිෂ්ඨානයේ පිහිටිය හොත් තමන්ගේ ශරීරාවයවයන්ගෙන් යම් කිසිවකට හානියක් එය රැක ගැනීමට අධිෂ්ඨානය කඩති. ඇස් දෙක අන්ධ වෙන්නට හැර තමන් වහන්සේ කර ගත් අධිෂ්ඨානය නො කැඩූ චක්ඛුපාල තෙරුන් වහන්සේ මෙන් ශරීරාවයව නිසාද අධිෂ්ඨානය නො කඩන්නවුන් ගේ ඉහත කි අධිෂ්ඨානය ට වඩා බලවත් වූ අධිෂ්ඨානය: අධිෂ්ඨාන උප පාරමිතාව ය.

තේමීය කුමාරයන්ගේ අධිෂ්ඨානය බඳු ජිවිතය නිසා ද නො කඩ කරන්නා වූ අධිෂ්ඨානය; අධිෂ්ඨාන පරමත්ථ පාරමිතාව ය.

9. මෛත්‍රී පාරමිතාව

ලෝකයෙහි සෑමදෙනා ම තමන්ගේ සැපයට. ලාභයට දියුණුවට කැමැත්තෝ ය. තුන්තරා බෝධියෙන් එකකට පැමිණීමේ අදහසින් පවත්වන්නා වූ: තමන්ගේ සැපයට, දියුණුවට ලාභයට කැමති වන්නාක් මෙන් තමන්ට සතුරු වූ ද, මිතුරු වූ ද, මධ්‍යස්ථ වූ ද සැම දෙනා ගේ සැපයට දියුණුවට ලාභයට කැමති වන ස්වභාවය මෛත්‍රී පාරමිතාව ය.

තවත් ක්‍රමයකින් කියත හොත් අනුන් ගේ යහපත පිණිස කයින් කරන වැඩ කිරීමත්, අනුන් ගේ යහපත පිණිස පවත්නා වූ ද, අනුන් ගේ සිත සතු‍ටු වන්නා වූ ද කථා කිරීමත් “අනුන් නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා” යනාදීන් සිතීමත් මෛත්‍රී පාරමිතාව ය. තවත් ක්‍රමයකින් කියත හොත් මිත්‍රත්වය මෛත්‍රී නම් වේ. සම්බෝධිය පිණිස පවත්නා වූ සතුරු, මිතුරු, මැදහත් සැමදෙනා හා ම පවත්වන්නා වූ මිත්‍රත්වය මෛත්‍රී පාරමිතාව ය.

“කරුණුපාය කොසල්ල පරිග්ගහිතො ලොකස්ස හිතසුඛුපසංහාරෝ අත්ථතො අව්‍යාපාදො මෙත්තා පාරමිතා”

යනුවෙන් චරියාපිටක අ‍ටුවාවෙහි මහා බෝධි මෛත්‍රී පාරමිතාව දක්වා තිබේ. “කරුණාවෙන් හා උපාය කෞශල්‍යයෙන් පරිගෘහිත ලෝකයට හිත සැප එළවීම, අර්ථ වශයෙන් අව්‍යාපාදය මෛත්‍රී පාරමිතාව’ ය යනු එහි තේරුම ය.

රාගයත් මෛත්‍රීයේ මුහුණුවර ඇති ක්ලේශ ධර්මයෙකි. මෛත්‍රී පාරමිතාව පුරන තැනැත්තා විසින් මෛත්‍රිය හොඳින් හැඳින ගත යුතුය. රාගයත් හොඳින් හැඳින ගත යුතු ය. එසේ නො වුවහොත් නොයෙක් අවස්ථාවලදී තමා කෙරෙහි ඇති වන රාගයට මෛත්‍රිය යයි ‍රැවටෙන්නට ඉඩ තිබේ.

හොඳ ඇඳුමකින් සැරසී සිටින පිරිසිදු ලස්සන ළමයකු දුටහොත් බොහෝ දෙනාට ඒ ළමයා හා කථා කරන්නටත්, ඒ ළමයා වඩා ගන්නටත්, අත පත ගාන්නටත්, ආහාර පානාදිය ඇති වෙලාවක නම් ඔහුට කවන්නට පොවන්නටත් සිත් වෙයි. කිලිටි ඇඳුමක් ඇඳ සිටින අපිරිසිදු කැත ළමයකු දුටහොත් ඒ අය ඒ ළමයා දෙසවත් නො බලති. ඒ ළමයා ළංවන්නට ආවොත් එළවා දමති. ලස්සන පොහොසත් ළමයා ය. අසරණ දුප්පත් කැත ළමයා ය යන මේ දෙදෙනාගෙන් වඩා මෛත්‍රියට කරුණාවට ලක් විය යුත්තේ දුප්පත් කැත ළමයා ය.

වඩා මෛත්‍රිය කරුණාව පැවැත්විය යුතු, දුප්පත් කැත ළමයා ගැන ඇති නො වන, ලස්සන ළමයා ගැන පමණක් බොහෝ දෙනකුට ඇති වන කරුණාව වැනි මෛත්‍රිය වැනි ස්වභාවය සත්‍ය වූ කරුණාව හෝ මෛත්‍රිය නොව කරුණාවේ හෝ මෛත්‍රියේ ආකාරයෙන් ඇති වන සප්‍රීතික තෘෂ්ණාව ය. රාගය යි කියනුයේ ද මෙයට ය. භාර්‍ය්‍යාවන් ගැන, දූ දරුවන් ගැන, ස්වාමිපුරුෂයන් ගැන, ලස්සන ඇතැම් සතුන් ගැන, ඇති වන කරුණාව වැනි මෛත්‍රිය වැනි ස්වභාවය ද රාගය ම ය.

සත්‍ය වූ මෛත්‍රිය නම් ලස්සනකම, කැතකම ගැන හෝ දුප්පත්කම, පොහොසත්කම ගැන හෝ උගත්කම, නූගත්කම ගැන හෝ අනිකක් හෝ අපේක්ෂා නො කොට, මා දුකට නො කැමති වන්නාක් මෙන්, දුකට බය වන්නාක් මෙන්, සැපයට කැමති වන්නාක් මෙන්, සැපය සොයන්නාක් මෙන්, ලොව වෙසෙන හැම දෙනා ම දුකට නො කැමැත්තෝය, දුකට බියවන්නෝ ය, සැපයට කැමැත්තෝ ය, සැපය සොයන්නෝ ය යි දුක් නො කැමති සැපයට කැමති, අන්‍යයන් දුකට පත් නො වනවාට සැප ලබනවාට කැමති ස්වභාවය ය.

ඒ ස්වභාවය වූ මෛත්‍රියෙන් යුක්ත සිත් ඇති තැනැත්තා මෛත්‍රී සහගත ක්‍රියා කරන්නේ ය. මෛත්‍රී සහගත කථා කරන්නේ ය. අන්‍යයෝ නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා යි සිතන්නේ ය. මෛත්‍රී කරුණා ප්‍රතිරූපක රාගය වනාහි සත්ත්වයා ප්‍රේත ලෝකයට පමුණුවන පාපයෙකි. මරණාසන්නයේ දී තමන් ගේ දූ - දරුවන් ගැන, භාර්‍ය්‍යාවන් ගැන, ධනය ගැන ඒ රාගයෙන් යුක්තව සිටීමෙන් බොහෝ දෙනා ප්‍රේත තත්ත්වයට පැමිණෙති.

මෛත්‍රී පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය

හිත සත්ත්වයන් කෙරෙහි හා මධ්‍යස්ථ සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී චිත්තය පැවැත්වීම, මෛත්‍රීය පැතිරවීම පහසු ය. අපහසු වන්නේ වෛරීන් කෙරෙහි මෛත්‍රිය පැවැත්වීම හා පැතිර වීම ය. එය කළ හැකි වීම පිණිස ක්ෂාන්ති පාරමිතා ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයෙහි දැක්වූ කරුණු මෙනෙහි කළ යුතු ය. ක්ෂාන්තිය ඇති කරගත් තැනැත්තාට සතුරු මිතුරු කා කෙරෙහිත් මෙත් සිත පැතිර විය හැකිය. හැම දෙනා කෙරෙහි ම මෛත්‍රිය පැවැත් විය හැකි වීමට මෙත් වැඩීමේ අනුසස් හා මෙත් වැඩීම මැනැවින් කළ උතුමන් ගේ චරිත ද මෙනෙහි කළ යුතු ය.

මෛත්‍රිය නමැති මේ උතුම් ගුණ ධර්මය ලොව වෙසෙන සැම දෙනා කෙරෙහි ම නො වෙනස් ව ඇති නම් ලෝකයා ඉතා සුඛිත ය. දිවි පැවැත්වීම සත්ත්වයන්ට මහ බරෙකි. ඒ බරෙන් විශාල කොටසක් ඇත්තේ සත්ත්වයන් කෙරෙහි ඔවුනොවුන්ට මෛත්‍රිය නැති බව නිසා ය. සෑම දෙනා කෙරෙහි ම මෛත්‍රිය ඇති නම් ලෝකයෙහි ජීවත් වීමට ඇති බරෙන් විශාල කොටසක් අඩු වන්නේ ය. මෛත්‍රිය නැත්තා වූ එකකු අනිකකුට පීඩා කරන නිසා, අනිකකු දුක සේ සපයා ගෙන තිබෙන දෙය පැහැර ගන්නා නිසා, අනිකා මරා කන නිසා බොහෝ සතුන්ට මරණ බියෙන් සැඟවී සිටින්නට සිදුවී තිබේ.

යමක් සපයා ගැනීම සඳහා දවල් තිස්සේ වෙහෙසුණු තැනැත්තාට තමන්ගේ දෙය පරෙස්සම් කර ගැනීම සඳහා රෑ නොනිදා සිටීමට සිදුවී තිබේ. රස්සාවක් සඳහා පිට ගිය හොත් තමා ගේ ගෙය නො ‍රැකෙන නිසා, දූ - දරුවන් නො ‍රැකෙන නිසා, වත්ත - කුඹුර නො ‍රැකෙන නිසා බොහෝ දෙනාට යමක් සපයා ගැනීම සඳහා බැහැරට යා නො හැකි කමින් දුකින් කල් යවන්නට සිදු වී තිබේ. හැම දෙනා කෙරෙහි ම මෛත්‍රිය ඇති නම්, උසාවි - පොලිස් හමුදා - යුද්ධ හමුදා ලොවට උවමනා නැත. මෛත්‍රිය නොමැති බව නිසා ඔවුනොවුන්ට බියෙන් සැම දෙනාට ම ඉන්නට සිදුවී තිබෙන බැවින් මිනිසුන් වෙහෙසී සපයන ධනයෙන් විශාල කොටසක් උසාවි පැවැත්වීමට, පොලිස් හමුදා - යුද්ධ හමුදා පැවැත්වීමට, යුද්ධෝපකරණ තැනවීමට වියදම් කරන්නට සිදුවී ඇත්තේය. ලෝකයෙහි සැම දෙනා ම මෛත්‍රිය ඇතියන් වුවහොත් ආරක්ෂාව සඳහා ඇති බරෙන් නිදහස් වීමෙන් ලෝකයාට ඉමහත් පහසුවක් සුවයක් ඇති වන්නේ ය.

මෙත් වැඩීමේ අනුසස් එකොළොස:

“මෙත්තාය භික්ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකංඛා, කතමෙ එකාදස?

සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති. න පාපකං සුපිනං පස්සති. මනුස්සානං පියෝ හොති, අමනුස්සානං පියො හොති, දෙවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛ වණ්ණො විප්පසීදති, අසම්මූළ්හො කාලං කරොති, උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලෝකූපගො හොති.

මෙත්තාය භික්ඛවෙ, චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය, යානිකතාය, වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමෙ එකාදසානිසංසා පාටිකංඛාති”.

මෙය අංගුත්තර නිකායෙහි ඒකාදස නිපාතයේ සුත්‍රයෙකි. මෙයින් දැක්වෙන්නේ මෙත්තා චේතො විමුත්තියෙන් ලැබෙන අනුසස් එකොළොසකි. මෙත්තා චේ‍තෝ විමුත්තිය යනු මෛත්‍රී ධ්‍යානය යි. මෛත්‍රී ධ්‍යානයෙන් ලැබෙන මේ අනුසස් වලින් දසයක් සාමාන්‍යයෙන් මෙත් වඩන තැනැත්තන්ගේ කාමාවචර කුශල මෛත්‍රියේ අනුසස් වශයෙන් ද ඒ ඒ අය ගේ මෛත්‍රී චිත්තයේ දියුණුවේ සැටි සැටියට ලැබෙන්නේ ය. අනුසස් එකළොස මෙසේ ය.

1) “සුඛං සුපති” බොහෝ දෙනා නිදන කල්හි ගොරවමින් කෙඳිරිගාමින් ඒ මේ අත පෙරළෙමින් දඟලමින් දුක සේ නිදති. මෙත් සිත් ඇති තැනැත්තේ සම වතකට සමවන් එකකු මෙන් සුව සේ නිදයි.

2) “සුඛං පටිබුජ්ඣති” බොහෝ දෙනා නින්දෙන් පිබිදෙන කල්හි ක්ලාන්ත වී ඈනුම් හරිමින් කෙඳිරි ගාමින් හොඳ සිහියෙන් තොරව දුක සේ පිබිදෙති. මෙත් වඩන තැනැත්තේ ප්‍රබෝධ වන පද්මයක් සේ විකාර රහිත්ව සුව සේ පිබිදෙයි.

3) “න පාපකං සුපිනං පස්සති” බොහෝ දෙනා සිහිනෙන් සොරුන් දැක ද, සර්පයන්, කුළු හරකුන් දැක ද බිය වෙති. තවත් නොයෙක් භයානක දේ ද දැක බිය වෙති. සමහර විට බය වී කෑ ගසති. මෙත් වඩන තැනැත්තේ එබඳු භයානක ස්වප්න නො දකිති. වෙහෙර විහාර, පෙරහැර, බණ පින්කම්, පිරිත් පින්කම් ආදි යහපත් දේ ම සිහිනෙන් දකි.

4) “මනුස්සානං පියො හොති” කරුණා මෛත්‍රියෙන් තොර නපුරු මිනිසුන් ගේ ඒ නපුරු බව ඔවුන් දක්නවුන්ට ඔවුන් ගේ මුහුණුවල සැටියෙන් ම පෙනේ. එබැවින් ඔවුහු මිනිස්නට අප්‍රිය වෙති. මෙත් සිත ඇති පින්වතා ගේ සෞම්‍යත්ය ද ඔහු ගේ මුහුණෙන් පෙනේ. එබැවින් මෙත් වඩන තැනැත්තා රෝසමල් පොකුරක් සේ, පියුමක් සේ, මුතුහරක් සේ මිනිස්නට ප්‍රිය වේ.

5) “අමනුස්සානං පියො හොති” මෙත් වඩන තැනැත්තේ මිනිස්නට පමණක් නොව විශාක තෙරුන් වහන්සේ මෙන් දෙවියන්ට ද ප්‍රිය වේ. විශාඛ තෙරුන් වහන්සේ ගේ කථාව මෙසේ ය:-

විශාඛ තෙරුන් වහන්සේ

දඹදිව පැළලුප් නුවර විශාඛ නමැති මිනිසෙක් විය. ලක්දිව වනාහි බොහෝ විහාරාරාම චෛත්‍යයන් ඇති, කසාවතින් බබලන, හැම තැන ම වාසය කිරිමට යෝග්‍ය යහපත් සෘතු ගුණය ඇති, යෝග්‍ය සෙනසුන් බහුල, ආශ්‍රයට සුදුසු සත්පුරුෂයන් බහුල, නිතර දහම් අසන්නට ලැබෙන, ප්‍රදේශයෙකැ යි ඔහුට අසන්නට ලැබිණ. හේ ලක්දිවට පැමිණ පැවිදි වන්නට සිතා තමා ගේ සියලු ධනය අඹුදරුවන්ට දී එක් කහවණුවක් පමණක් ගෙන ගෙයින් පිටත්ව මුහුදු තෙරට ගොස් නැවක් සොයමින් මසක් ඉක්ම විය. හේ වෙළඳාමෙහි දක්ෂයෙකි. නැවක් සොයමින් විසූ ඒ මාසය තුළ දී තමා වෙත තුබූ එක කහවණුවෙන් වෙළඳාම් කොට කහවණු දහසක් උපයා ගත්තේ ය. මසකින් පසු නැවක් ලැබ ලක්දිවට අවුත් ක්‍රමයෙන් අනුරාධපුරයේ මහා විහාරයට ගියේ ය.

මහා විහාරයේ තෙරුන් වහන්සේලාගෙන් හේ පැවිද්ද ඉල්ලා සිටියේය. පැවිදි කරවීම පිණිස තෙරුන් වහන්සේලා විසින් සීමාවට කැඳවා ගෙන ගිය කල්හි හේ තමාගේ හින තුබූ දහසක් බැඳි පොට්ටනිය බිම හෙළීය. තෙරුන් වහන්සේලා විසින් “මේ කුමක් දැ’යි ඇසූ කල්හි ‘ස්වාමීනි, කහවණු දහසෙකැ’යි කීය. “උපාසය, පැවිදි වීමෙන් පසු මේවා පරිහරණය නො කළ හැකිය, දැන්ම ම මේවාට කරන දෙයක් කරව’යි තෙරුන් වහන්සේලා කීහ. උපාසක තුමා “විශාඛයන් පැවිදිවන තැනට පැමිණි අය හිස් අතින් නො ගොස් මේවා අවුලා ගෙන යෙත්වා” යි ඒ මුදල සීමා මාලකයේ විසුරුවා පැවිදිව උපසම්පදාව ද ලබා ගත්තේ ය.

විශාඛ භික්ෂූන් වහන්සේ ආචාර්ය්‍යෝපාධ්‍යායයන් වෙත පස් වසක් වැස, උභය ප්‍රාතිමෝක්ෂය උගෙන තමන්ට යෝග්‍ය කමටහනක් ද උගෙන, එක් විහාරයක සාර මස බැගින් වෙසෙමින් හැසුරුණහ. එක් දවසක් උන් වහන්සේ සිතුල්පව් වෙහෙරට යන්නාහු, මංසන්දියකට පැමිණ යා යුතු මඟ සිතමින් උන් කල්හි පර්වතයෙහි අධිගෘහිත දේවතාවා අත දිගු කොට “විහාරයට යන මඟ මෙයය”යි දැක්වී ය.

උන්වහන්සේ එහි ගොස් සාරමසක් වැස හෙට උදෑසන මෙතැනින් නික්මෙමි යයි සිතා හොත්තාහු ය. එකල්හි එහි සක්මන් කෙළවර ගසේ දෙවියා තෙරුන් වහන්සේ වෙසෙන විහාරයේ පියගැට පෙළේ හිඳ හඬන්නට පටන් ගත්හ. තෙරුන් වහන්සේ විසින් “තොප කවුරුදැ’යි ඇසූ කල්හි “මම සක්මන කෙළවර ගසේ දෙවියා ය”යි කීය. “කුමට හඬන්නෙහි” දැයි ඇසූ කල්හි “නුඹ වහන්සේ මෙයින් වඩනා බැවිනැ’යි කීය. “මා මෙහි විසීමෙන් නුඹට ඇති ප්‍රයෝජනය කුමක්දැ”යි විචාළ කල්හි, “ස්වාමීනි, නුඹ වහන්සේ මෙහි වෙසෙන කල්හි මෙහි අමනුෂ්‍යයෝ ඔවුනොවුන් කෙරෙහි මෙත් සිත් ඇත්තෝ වෙති. නුඹ වහන්සේ මෙයින් වැඩිය කල්හි නැවතත් ඔවුහු කෝලහාල කරන්නටත්, අසභ්‍ය වචන කියන්නටත් පටන් ගන්නාහ’යි දේවතාවා කීය.

තෙරුන් වහන්සේ “මාගේ මෙහි විසීමෙන් තොපට පහසුවක් වේ නම් හොඳය”යි කියා සාර මසක් එහි වැස: නැවතත් යන්නට සිතූ කල්හි එසේ ම රුක් දෙවියා පැමිණ හැඬීය. මේ ක්‍රමයෙන් උන්වහන්සේ පරිනිර්වාණය දක්වා ම සිතුල්පව් විහාරයේ ම විසූ සේක. මෙසේ මෙත් සිතින් වෙසෙන භික්ෂූහු අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙති.

6) “දෙවතා රක්ඛන්ති” බුදුන් කල එක් පර්වතයක වෙසෙමින් මෛත්‍රී කර්මස්ථානය වැඩූ භික්ෂූන් පන්සියය මෙන් මෙත් වඩන තැනැත්තා දෙවියෝ රකිති. මෙත් වැඩූ භික්ෂූන් පන්සියයේ කථාව මෙසේ ය:

මෙත් වැඩූ භික්ෂූන් පන්සියයක්

පෙර පන්සියයක් භික්ෂූන් වහන්සේලා වස් කාලය සමීපයේ දී බුදුන් වහන්සේ වෙත එළඹ, කමටහන් උගෙන සුදුසු සෙනසුනක් හා ගොදුරු ගමක් සොයා ඇවිදිනාහු ප්‍රත්‍යන්තයෙහි හිමාලය හා ඒකාබද්ධ වූ, තැනින් තැන සිත්කලු නිල්වන් ගල්තලා හා සිදු වැලිතලා ඇති, පිරිසිදු සිසිල් ජලය ඇති, එක් පර්වත ප්‍රදේශයක් දැක, එහි එක් ‍රැයක් වැස, පසුදින සමීප ගමකට පිඬු සිඟා වැඩියෝය.

එය එකිනෙකට සමීපයෙන් පිහිටි දහසක් පමණ ගෙවල් ඇති විශාල ගමෙකි. එහි වැසියෝ සැදැහැ ඇත්තෝ ය. ප්‍රත්‍යන්තයෙහි පැවිද්දන් දුර්ලභ බැවින් භික්ෂූන් දැකීමෙන් ප්‍රීතිමත් වූ එගම් වැස්සෝ ඒ භික්ෂූන්ට ආදරයෙන් ගෞරවයෙන් දන් දී වස් තෙමස එහි ම වෙසෙන ලෙස ආරාධනා කොට පර්වත ප්‍රදේශයෙහි පන්සියයක් භික්ෂූන් වහන්සේලාට විසීමට කුටි පන්සියයක් කරවා දුන්හ. ඇඳ - පු‍ටු - දිය බඳුන් ආදී සියලු උපකරණ ද සපයා දුන්හ.

භික්ෂූන් වහන්සේලා පසු දින අන් ගමකට පිඬු සිඟා වැඩියෝ ය. එගම් වැස්සෝ ද එසේ ම භික්ෂූන් වහන්සේලාට සත්කාර කොට වස් විසීමට ආරාධනා කළෝ ය. රෑ දවල් දෙක්හි ම අනලසව මහණ දම් පුරන්නා වූ ඒ භික්ෂූන් වහන්සේලා වේලාවට ගෙඩිය ගසා ගස් මුල්වල හිඳ භාවනා කරන්නාහ. භික්ෂූන් වහන්සේලා ගේ ශීල තේජස නිසා ගස් මුල්වලට භික්ෂූන් පැමිණි කල්හි ගස්වල තම තමන්ගේ වාසස්ථානවල විසිය නොහෙන රුක් දෙවියෝ තම තමන්ගේ දරුවන් ද ගෙන භික්ෂූන් නැගීයන තෙක් තැනින් තැන වෙසෙති. මෙය රුක් දෙවියන්ට මහ කරදරයක් විය.

භික්ෂූහු කවදා යෙත් දැ යි දුරින් බලා හුන් දේවතාවෝ වස් වැසූ භික්ෂූන් තෙමසක් ගතවන තුරු නො යන බව දැන, එපමණ දික් කලක් අපට අප ගේ විමානවලින් බැහැරව නො විසිය හැකි ය. මේ භික්ෂූන් බිය ගන්වා මෙයින් පලවා හැරිය යුතු යයි සිතා, රාත්‍රියෙහි තනි තනි ව භික්ෂුන් වහන්සේලා භාවනා කරමින් සිටින තැන්වලට ගොස් භයානක යක් වෙස්වලින් පෙනී සිටින්නට වන්හ. භයානක ශබ්ද ද කරන්නට වන්හ. ඔවුන් දැකීමෙන් හා ඔවුන් ගේ හඬ ඇසීමෙන් ඒ භික්ෂූන් වහන්සේලා ගේ ළය වෙවුලන්නට වූහ. උන් වහන්සේලාට සිත එකඟ කර ගත නො හැකි විය. බිය නිසා සිහියෙන් යුක්තව විසීමට අසමත්ව සිටින ඒ භික්ෂූන් වහන්සේලා වෙත තද දුර්ගන්ධයක් ද භූතයෝ ඇති කළහ. ගන්ධයේ දරුණු කමින් භික්ෂූන් වහන්සේලාට හිසරදය ද ඇති විය. එහෙත් එතෙක් එක් භික්ෂුවක්වත් තමාට ඇති කරදරය අනෙකකුට නො කීය.

එක් දවසක් සැම දෙනා ‍රැස් වූ අවස්ථාවක දී සංඝ ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන්, පෙර සේ නොව ඉතා දුබල වී සිටිනු දැක, “ඇවැත්නි, මේ වනයට පැමිණි ඔබ වහන්සේලාගේ ශරීරය කීප දිනක් ඉතා පැහැපත්ව පැවැත්තේ ය. දැන් එසේ නො වේ : ඔබ වහන්සේලා දුබල ව දුර්වර්ණ ව නො පහන් ඉන්ද්‍රියයන් ඇතිව ඉන්නාහ. ඊට කාරණා කවරේදැ”යි විචාළහ.

එකල්හි එක් භික්ෂුවක් “ස්වාමීනි, මම රාත්‍රියෙහි මෙබඳු භයානක අරමුණු දක්නෙමි. භයානක ශබ්ද අසමි. දුර්ගන්ධයන් ආඝ්‍රාණය කරමි. එබැවින් මට සිත එකඟ කර ගත නො හැකි ය. කමටහනෙහි සිහිය නො පිහිට විය හැකි ය’යි කීය. සෙස්සෝ ද ඒ ප්‍රවෘත්තිය කීහ. එකල්හි සංඝ ස්ථවිරයන් වහන්සේ “තථාගතයන් වහන්සේ වස් විසීම් දෙකක් පනවා ඇත්තේ ය. අපට මේ සෙනසුන අයෝග්‍යය. අප බුදුන් වහන්සේ වෙත ගොස් කරුණු සැළකොට උන්වහන්සේ ගෙන් සුදුසු සෙනසුනක් විචාරමුය’යි කීහ. සැමදෙනා වහන්සේ ම එයට එකඟ වී සෙනසුන් තැන් පත් කොට තබා දායකයන් හා බැඳීමක් නැති බැවින් කිසිවකුට නො කියා ම සැමදෙනා වහන්සේ ම එයින් පිටත්ව ඇවැත් නුවර බලා ගොස් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියෝ ය.

බුදුන් වහන්සේ “මහණෙනි, වස්කාලයෙහි තැනින් තැන නො යන ලෙස තොපට සිකපද පනවා ඇත්තේ ය. එසේ තිබිය දී තෙපි කුමට ඇවිදින්නාහු දැ’යි විචාළ සේක. ඒ භික්ෂූහු සිදු වූ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකළෝ ය. බුදුන් වහන්සේ ඔවුනට සත්ප්‍රාය සේනාසනයක් බලන සේක් - අන් කොතැන වත් නො දැක, “මහණෙනි, එහි වාසය කිරීමෙන් ම තෙපි අර්හත්වයට පැමිණෙන්නාහු ය. මහණෙනි, තෙපි යව්. ඒ සෙනසුනෙහි ම වාසය කරව්” යයි වදාරා -

“මහණෙනි, ඉදින් තෙපි දේවතාවන්ගේ කරදරයෙන් මිදෙනු කැමැත්තහු නම් මේ පිරිත උගනිව්. මෙය තොපට ආරක්ෂාව ද, කර්මස්ථානය ද වන්නේ ය’යි “මෛත්‍රිය සූත්‍රය” වදාරා තෙපි එහි ගොස්, මාසයෙහි ධර්ම ශ්‍රවණය කරන දින අටෙහි ම ගෙඩිය ගසා ‍රැස්වී මේ සූත්‍රය සජ්ඣායනා කරව්! මේ සූත්‍රයෙන් ම දහම් දෙසව්! ධර්ම සාකච්ඡා කරව්! අනුමෝදනා කරව්! මේ කර්මසථානය ම භාවනා කරව්! එසේ කරන කල්හි ඒ දේවතාවෝ බිය ගැන්වීම් නවත්වා තොපට උපකාර කරන්නට පටන් ගන්නාහ’යි වදාරා, භික්ෂූන් පන්සියය උන් වහන්සේලා විසූ තැනට ම පිටත් කළ සේක.

භික්ෂූන් වහන්සේලා ද තථාගතයන් වහන්සේ ගේ අනුශාසනය ආදරයෙන් පිළිගෙන වැඳ අවසර ගෙන නැවතත් එහි ගොස් බුදුන් වහන්සේ වදාළ පරිදි කරන්නට වූහ. දේවතාවෝ මේ භික්ෂූහු අප ගේ යහපත කැමැ‍ත්තෝ යයි භික්ෂූන් වහන්සේලා කෙරෙහි සතු‍ටු වී උන් වහන්සේලාට උපස්ථාන කරන්නටත්, ආරක්ෂා කරන්නටත් වන්හ. ඒ භික්ෂූන් වහන්සේලා දේවතාවන් ගේ උපකාර ද ඇතිව සැප සේ වෙසෙමින් මෛත්‍රී භාවනාව කොට මෛත්‍රිය ම පාදක කොට විදර්ශනා වඩා ඒ වස් කාලය තුළදී සැමදෙනා වහන්සේ ම සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියෝ ය.

7) “නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති” මෛත්‍රියෙන් වාසය කරන තැනැත්තා ගේ කයට උත්තරා උපාසිකාව ගේ කයට මෙන් ගින්න ද, සංයුත්ත භාණක වූලසීව ස්ථවිරයන් වහන්සේගේ කයට මෙන් විෂ ද, සංකිච්ච සාමණේරයන් ගේ කයට මෙන් ආයුධ ද නො වදින්නේ ය. ගින්නෙන් හෝ විෂයෙන් හෝ ආයුධයෙන් හෝ මෛත්‍රී චිත්තයෙන් වෙසෙන තැනැත්තා ගේ ශරීරයට පීඩාවක් නො වේ. උත්තරා උපාසිකාව ගේ කථාව මෙසේ ය:

උත්තරා උපාසිකාව ගේ කථාව

උත්තරා උපාසිකාව රජගහනුවර පූර්ණක සිටාණන්ගේ දුවකි. ඈ බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන්ව සිටින තැනැත්තියකි. පසු කාලයේ දී ඇය රජගහ සිටාණන්ගේ පුත්‍රයාට විවාහ කොට දින, හේ මිථ්‍යා දෘෂ්ටිකයෙකි. සෝවාන් වී සිටින උත්තරාට රත්නත්‍රයෙන් වෙන්ව නො විසිය හැකිය. එහෙත් මිසදි‍ටු ගෙදරට හසු වී සිටින ඇයට භික්ෂූන් දක්නටවත් දන් දෙන්නට වත් බණ අසන්නට වත් නො ලැබෙන්නේ ය. ඒ සි‍ටු ගෙදර මහ සම්පත් ඇති තැනක් වුවත් රත්නත්‍රය ආශ්‍රය කරන්නට නො ලැබීම නිසා උත්තරාවට එය සිර ගෙයක් බඳු විය. මිසදි‍ටු ගෙය ගැන කලකිරුණා වූ උත්තරා උපාසිකාව දිනක් “මා මේ සිර ගෙයට පත් කළාට වඩා කාහටවත් දාසියක් කර දුන්නා නම් හොඳ ය. මෙහි පැමිණීමෙන් පසු මට කිසිම පිණක් කරගන්නට නො ලැබුණේය” යි කියා පියාට හස්නක් යැව්වා ය.

පිය සි‍ටු තුමා “මගේ දුව දුකට පත් වී සිටින්නීය”යි මහත් ශෝකයට පැමිණ. “මේ නුවර සිරිමා නම් වූ දිනකට දහසක් ගන්නා ගණිකාවක් ඇත්තීය. ඇය ගෙන්වා හිමියාට පරිචාරිකාවක් කොට පවරා දී පින් කර ගනුව”යි කහවණු පසළොස් දහසක් යැවී ය. උත්තරා උපාසිකාව සිරිමා නම් වූ ගණිකාව ගෙන්වා ඇයට කහවණු පසළොස් දහස දී, “යෙහෙළිය, මේ පසළොස් දහස ගෙන මේ පසළොස් දිනයෙහි මාගේ සැමියා සතු‍ටු කරවමින් මෙහි වෙසෙව’යි කීවාය. සිරිමා එය සතුටින් පිළිගත්තා ය.

උත්තරා උපාසිකාව ඇය කැඳවා ගෙන සිය සැමියා වෙත ගොස්, අද පටන් පසළොස් දිනක් මාගේ යෙහෙළිය මා වෙනුවෙන් ඔබට උවටැන් කරන්නීය. “මම මේ අඩමස දන් දෙමින් බණ අසමින් වෙසෙමි” යි කීවා ය. සිරිමා ගේ රූපශ්‍රීයෙන් වශීකෘත සි‍ටු පුත්‍රයා ඉතා සතුටින් එය පිළිගත්තේ ය.

උත්තරා උපාසිකාව ද එතැන් පටන් දන් දෙන්නටත් බණ අසන්නටත් ලදිමි යි සතු‍ටුව බුදු රදුන් ප්‍රමුඛ මහ සඟනට තමාගේ ගෙයි දෙසතියක් දන් පිළිගන්නා ලෙස ආරාධනා කොට දාස දාසීන් පිරිවරා ගිනිහල් ගෙයි “මෙසේ බත් පිසව, මෙසේ ව්‍යඤ්ජන පිසව, මෙසේ කැවිලි පිසව’යි සංවිධානය කරමින් හැසුරුණාය. ඇගේ දන්දීම අවසන් වන දිනයට පෙර දිනයේ “මේ මෝඩ ගැහැනී කුමක් කරන්නී දැ’යි සිරිමා කවුළුවෙන් ගිනිහල් ගෙය දෙස බලනුයේ ඩහදිය වගුරුවා ගෙන අලු හා දැලි තැවරුණු ශරීරයෙන් වැඩ කරවමින් සිටින උත්තරාව දැක, “අනේ මෝඩ ගැහැනී, මෙබඳු තැනකට ඇවිදිනුත් සැපක් නො විඳ මුඩු මහණුන්ට ප්‍රීතියෙන් වැඩ කරන්නී ය” යි සිනාසුණා ය.

සි‍ටු ගෙදර මහා සම්පත්තියෙන් මත්ව සිටි සිරිමාට තමා ඉන්නේ කොතැන ද යන බවත්, සි‍ටු පුත්‍රයා කවරෙක් ද යන බවත් අමතක වී තිබිණ. ඕ සි‍ටු පුත්‍රයා උත්තරා දෙස බලා සිනාසෙනු දැක, ඔහු සිනාසෙන්නේ මැය හා ඇති සම්බන්ධයක් නිසා යයි උත්තරාව කෙරෙහි කිපී “මැයට හොඳ පාඩමක් උගන්වමි” යි සිතා පහයෙන් බැස එහි ගොස් කැවිලි පිසින තැන උදුන මත උතුරමින් තුබූ ගිතෙල්, සැන්දකින් ගෙන උත්තරාව දෙසට ආවාය.

සිරිමා එන සැටියෙන් ම තමාට නපුරක් කරන්නට එන බව උත්තරාට වැටහිණ. ඕ සිරිමාට නපුරක් කරන්නට නො සිතා “මගේ යෙහෙළිය මට මහා උපකාර කාරියක. මැය නිසා මට දන් දීම හා බණ ඇසීම කළ හැකි විය. ඉදින් මාගේ සිතෙහි මැය ගැන ක්‍රෝධයක් ඇති නම් මේ උණු තෙලින් මාගේ ශරීරය දැවේවා. නැති නම් නො දැවේවා” යි සිතා ගෙන සිරිමා කෙරෙහි මෙත් සිත ම පැවැත්වූවා ය. ඇගේ මෛත්‍රී චිත්තයේ ආනුභාවයෙන් සිරිමා විසින් හිස මත වත්කළ හුනු තෙල සිසිල් දිය මෙන් විය.

උත්තරාට එයින් අමාරුවක් නුවුණු බව දු‍ටු සිරිමා ගෙනා තෙල් නිවී තිබෙන්නට ඇත.” යයි නැවතත් උණු තෙල් සැන්දක් ගෙන උත්තරාව දෙසට ගියා ය. උත්තරා ගේ දාසීහු එය දැක “අප ගේ ස්වාමි දූ ගේ ඇඟට උණු තෙල් වත්කරන්නට තී කවුදැ’යි තර්ජනය කරමින් අතින් පයින් තළා සිරිමා බිම හෙළුවෝ ය. උත්තරා, දාසීන් ගේ පහරදීම වළක්නට උත්සාහ කළ මුත් නො හැකි වූව ය. දාසීන් දිගට ම පහර දෙන කල්හි උත්තරා මැදට පැන ඉතා අමාරුවෙන් පහර දීම වළක්වා, ‘තී මෙබඳු අපරාධ කුමට කළා දැ’යි සිරිමාට අවවාද කොට උණු දියෙන් නහවා බෙහෙත් තෙල් ඇඟ ගැල් වූවා ය.

ඉන් පසු තමා පිට එකියක බව සිරිමාට වැටහී “පිට එකියක වූ මා මෙබඳු අපරාධයක් කරද්දීත් මැය මට දාසීන් ලවා පහර නොදෙව්වා ය. දාසීන් මට පහර දෙන කල්හි ද ඕ මා බේරා ගත්තා ය. මා කළේ මහා අපරාධයකි. මෙපමණ ගුණවත් තැනැත්තියකට අපරාධ කළ මා ඇගෙන් සමාව නො ගතහොත් මාගේ හිසත් පැලී යා හැකිය’යි උත්තරා ගේ පාමුල වැද හෙව සමාව ඉල්ලුවා ය.

එකල්හි උත්තරාව “මම පිය කෙනකුන් ඇති දුවක් වෙමි. මාගේ පියාණන් වහන්සේ සමා වන සේක් නම් මම ද සමා වෙමි” යි කීවාය. ‘ආර්‍ය්‍යාවෙනි, මම තොප ගේ පියාණන් වූ පූර්ණ සි‍ටු තුමාගෙන් ද සමාව ඉල්ලමි” යි සිරිමා කීවා ය. “පුණ්ණ සිටාණෝ මාගේ සසර වඩන පියාණෝ ය. මාගේ සසර කෙටි කරන පියාණන් වහන්සේ කෙනෙක් ඇතහ. උන්වහන්සේ සමා වන කල්හි ම මම සමා වෙමි.” යි උත්තරා කීවා ය. “තොප ගේ සසර කෙටි කරන පියාණෝ කවුරුදැ’යි ඇසූ කල්හි “සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය”යි කීවා ය. “උන්වහන්සේ හා මාගේ විශ්වාසයක් නැත” ය යි සිරිමා කීවා ය.

“මම විශ්වාසය ඇති කර දෙන්නෙමි. සෙට උන් වහන්සේ සංඝයා ද සමග මේ ගෙට වඩනාහ. උන් වහන්සේට සත්කාරය පිණිස ඇති දෙයක් ද ගෙන සෙට මෙහි එනු මැනව’යි උත්තරා කීවාය. සිරිමා ‘යහපති ආර්‍ය්‍යාවෙනි’යි කියා සිය නිවසට ගොස් පසු දින ඇගේ පරිවාර ස්ත්‍රීන් ලවා නොයෙක් කෑම වර්ග සම්පාදනය කරවා ඒවා ද ගෙන උත්තරා ගේ නිවසට පැමිණ බුදුපාමොක් සඟනගේ පාත්‍රවලට ඒවා බෙදීමට බියෙන් සිටියා ය. උත්තරා ඒවා ද ගෙන බුදුපාමොක් සඟන වැළඳ වූවා ය. අවසානයේ සිරිමා පිරිවරත් සහිතව තථාගතයන් වහන්සේ ගේ පාමුල වැද හොත්තා ය.

තථාගතයන් වහන්සේ ‘තිගේ අපරාධය කුමක් දැ’යි විචාළ සේක. ඕ ඉකුත් දිනයේ සිදු වූ සියල්ල සැල කළාය. තථාගතයන් වහන්සේ “සැබෑ ද? උත්තරාය”යි වදාළ කල්හි “එසේය ස්වාමීනි” මේ යෙහෙළිය මාගේ ඉසට උණු තෙල් වත්කළා’යි කීවා ය. ‘එකල්හි තී කුමක් සිතුවෙහිදැ’යි තථාගතයන් වහන්සේ විචාළ සේක. එකල්හි උත්තරා, ‘ස්වාමීනි, සක්වළ ඉතා කුඩාය. බඹලොව ඉතා පහල ය, මාගේ යෙහෙළිය ගේ ගුණය ම ඉතා මහත් ය. මැය නිසා මම දන් දෙන්නටත්, බණ අසන්නටත් ලදිමි ය, ඉදින් මැය කෙරෙහි මාගේ කෝපයක් ඇති නම් මේ තෙලින් මාගේ ශරීරය දැවේවා. නො එසේ නම් නො දැවේවා’යි සිතා සිරිමාට මෙත් වැඩුවෙමි.” යි කීවාය. තථාගතයන් වහන්සේ උත්තරාට සාධුකාර දී දහම් දෙසූ සේක. දහම් ඇසීමෙන් පන්සියයක් පිරිවර ස්ත්‍රීන් ද සමග සිරිමා ද සෝවාන් ඵලයෙහි පිහිටියාය.

සමාවතී දේවිය ගේ කථාව

මෙත් සිතින් වාසය කරන්නවුන්ට ආයුධවලින් හානියක් නො වන බවට කොසඹෑ නුවර උදේන රජුගේ අග මෙහෙසියක් වූ සාමාවතී දේවියගේ කථාව දැක්විය යුතුය. මාගන්ධියා නම් වූ අන් දේවියක විසින් නොයෙක් උපක්‍රම කොට බිඳවනු ලැබීමෙන් රජතුමා සාමාවතිය කෙරෙහි තදින් කිපුණේය. සාමාවතී දේවිය ගේ පරිවාර ස්ත්‍රීහු ද පන්සිය දෙනෙක් වෙති. රජු කිපී සිටිනු දත් සාමාවතී දේවී පරිවාර ස්ත්‍රීන්ට අවවාද කරන්නි “මේ අවස්ථාවේදී මෛත්‍රිය මිස අන් පිහිටක් නැත. තෙපි සැමදෙන ම කිසිවකුට කෝප නො කර රජු කෙරෙහිත්, රජු අප හා බිඳ වූ දේවිය කෙරෙහිත්, තමන් කෙරෙහිත් වෙනසක් නැතිව මෛත්‍රී සිත පවත්වව්” යයි සැම දෙනා ට අවවාද කළා ය.

ස්ත්‍රීන් සැම දෙන ම මෙත් සිතින් වසන සමයෙහි සමාවතී දේවිය හා පරිවාර ස්ත්‍රීන් පන්සියය පෙළට සි‍ටුවා පුරුෂයන් දහස් දෙනකු ගේ බල ඇති දුන්න ගෙන සාමාවතී දේවියගේ පපුවට විෂ පෙවූ ඊයක් විද්දේ ය. ඔවුන්ගේ මෛත්‍රී චිත්තයේ ආනුභාවයෙන් ඒ ඊය ආපසු හැරී රජුට අභිමුඛ ව සිටියේ ය. රජු බිය පත් වී පාමුල වැඳ වැටී දේවියගෙන් සමාව ඉල්ලී ය.

ගින්නෙන්, විෂයෙන්, ආයුධයෙන් ශරීරයට හානියක් නොවීම වනාහි මෙත් වඩන සැමට ම එයින් සැම කල්හි ම ලැබෙන අනුසසක් නොව බලවත් මෛත්‍රී චිත්තය ඇතියන්ට පමණක් කලාතුරකින් ලැබෙන අනුසසෙකි. මෛත්‍රියේ ඒ බලය කුමක් දැ යි තේරුම් ගැනීම අපහසු ය.

8) “තුවටං චිත්තං සමාධියති” මෛත්‍රී සහගත චිත්තය ඉතා සෞම්‍ය ය. ප්‍රණීත ය. මධුර ය. ඒ සිත නිසා ඇති වන චිත්තජ රූප ද මෛත්‍රී චිත්තය සේ ම සෞම්‍ය ය. සෞම්‍ය චිත්තජ රූපයන් ශරීරයෙහි පැතිරෙන කල්හි ධාතු කෝප සන්සිඳීමෙන් ශරීරය පිනා යන්නේ ය. ශාරීරික සුඛයක් ඒ තැනැත්තාට ඇති වන්නේ ය. එයින් මෙත් වඩන්නහු ගේ සිත ඉක්මනින් සමාධියට පැමිණෙන්නේ ය.

9) “මුඛවණ්ණෝ විප්පසීදතී” සිත හෘදය කෝෂයෙහි ඇති ලෙයෙහි පවත්නා වස්තු රූපය ඇසුරු කොට උපදින්නකි. ඉතා සෞම්‍ය වූ මෛත්‍රී චිත්තය උපදනා කල්හි ඒ සිත නිසා හෘදය කෝෂයේ ලෙය පැහැපත් වේ. ඒ ලෙය ශරීරයෙහි පැතිර යාමෙන් ද, සෞම්‍ය වූ මෛත්‍රී චිත්තයෙන් උපදනා සෞම්‍ය චිත්තජ රූප ශරීරයේ පැතිර යාමෙන් ද, මෙත්සිත් ඇතියහු ගේ මුහුණු පැහැපත් වේ. බැබලේ. කාන්තිමත් වේ.

10) “අසම්මූළ්හො කාලං කරොති” බොහෝ දෙනාට මැරෙන්නට සිදුවන්නේ සම්මෝහයෙනි. එයින් ඒ අයට තමන් කර ඇති කුශල ක්‍රියාවක් සිහි කර ගන්නට ද නො ලැබෙන්නේ ය. එය පින් ඇතියන්ට පවා දුර්ගතියට යාමට කරුණකි. මෙත් සිත බහුල වශයෙන් පවත්වන තැනැත්තාට එසේ නොවී සිහියෙන් අවසාන හුස්ම හෙළන්නට ලැබේ.

11) “උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලොකූපගො හොති” මෛත්‍රී සමාපත්තිය උපදවා ගත් තැනැත්තාට එය පාදක කොට රහත් වන්නට නුපුළුවන් වුවහොත් ඒ තැනත්තා එහි බලයෙන් මරණින් මතු බ්‍රහ්ම ලෝකයෙහි උදපනේ ය.

බෝධිසත්වයන් වහන්සේ එක් ජාතියක දී සත් වසක් මෙත් සිත වැඩීමෙන් ලත් ආනිසංසය දැක්වෙන අංගුත්තර නිකාය සත්තක නිපාතයේ එන සූත්‍රයක් මෙසේ ය:

මා භික්ඛවෙ, පුඤ්ඤානං භායිත්ථ, සුඛස්සෙතං භික්ඛවෙ අධිවචනං යදිදං පුඤ්ඤන්ති, අභිජානාමි ඛො පනාහං භික්ඛවෙ, දීගරත්තං කතානං පුඤ්ඤානං, දීඝ රත්තං ඉට්ඨං කන්තං මනාපං විපාකං පච්චනුභූතං සත්ත වස්සානි මෙත්තං චිත්තං භාවෙසිං, සත්ත වස්සානි මෙත්තං චිත්තං භාවෙත්වා සත්ත සංවට්ට විවට්ට කප්පෙ න ඉමං ලොකං පුනරාගමාසිං, සංවට්ටමානෙ සුදාහං ලොකෙ ආභස්සරූපගො හොමි, විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජාමි. තත්‍රසුදා භික්ඛවෙ බ්‍රහ්මා හොමි මහා බ්‍රහ්මා, අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්ති.

ඡත්තිංසක්ඛත්තුං ඛො පනාහං භික්ඛවෙ, සක්කො අහොසිං දෙවානමින්දො, අනෙකක්ඛත්තුං රාජා අහොසිං චක්කවත්ති ධම්මිකො ධම්ම රාජා චාතුරන්තො විජිතාවි ජනපදත්ථාවරියප්පත්තො සත්තරතන සමන්නාගතො. තස්ස මය්හං භික්ඛවෙ, ඉමානි සත්ත රතනානි අහෙසුං, සෙය්‍යථිදං? චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපති රතනං පරිනායකරතනමෙව සත්තමං. පරො සහස්සං ඛො පන මෙ භික්ඛවෙ, පුත්තා අහෙසුං සූරා වීරංගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගර පරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මේන අභිවිජිය අජ්ඣාවසති.

තේරුම:

මහණෙනි, පින්වලට බිය නොවව්, පිනය යන මෙය සැපයට නමකි. මහණෙනි, දීර්ඝ කාලයක් කළ පින්වලින් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි වින්දා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය මම දනිමි. සත් වසක් මුළුල්ලෙහි මෙත් සිත වැඩුවෙමි. සත්වසක් මෙත් සිත් වඩා සංවර්ත විවර්ත කල්ප සතක් මුළුල්ලෙහි මේ ලෝකයට නැවත නො ආයෙමි. මම ලෝකය විනාශ වන කල්හි ආභස්සර බඹ ලොවට යෙමි. නැවත ලෝකය ඇතිවන කල්හි සිස් වූ බ්‍රහ්ම විමානයක උපදිමි. එහි මම බ්‍රහ්ම වෙමි. අන්‍යයන් විසින් යට කළ නො හෙන අන්‍යයන් යට කර ගෙන සිටින සියල්ල දක්නා වූ අන්‍යයන් කීකරු කර ගෙන සිටින්නා වූ මහා බ්‍රහ්මයෙක් වෙමි.

මහණෙනි, මම සතිස් වරක් දෙවියන්ට අධිපති වූ ශක්‍රදේව වූයෙමි. නොයෙක් වාරවල ධාර්මික වූ ධර්ම රාජ වූ සිවු දිගින් සාගරය කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ ලෝකය දිනා ගෙන සිටින්නා වූ ජනපදයන්හි ස්ථිරත්වයට පැමිණියා වූ සප්ත රත්නයෙන් යුක්ත වූ චක්‍රවර්ති රාජ වූයෙමි. ඒ රජුට මේ සප්ත රත්නයෝ වූහ. කවරහු ද? චක්‍රරත්නය, හස්ති රත්නය, අශ්වරත්නය, මාණික්‍යයරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපති රත්නය, සත්වෙනි වූ පරිණායක රත්නය යන මොහු ය. මහණෙනි, අධික ශූරවූ, වීර්‍ය්‍යවත් වූ පරසේනා මැඩීමෙහි සමත් වූ දහසකට අධික පුත්‍රයෝ වූහ. හේ සාගරය කෙළවර කොට ඇති පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් ධර්මයෙන් දිනා එයට ඉසුරුව වෙසේ.

දානයට ද සීලයට ද වඩා මෛත්‍රීයෙහි අනුසස් ඇති බව

“යඤ්ච ගහපති වේලාමො බ්‍රාහ්මණො දානං අදාසි මහා දානං. යොචෙකං දිට්ඨි සම්පන්නානං භොජෙය්‍ය යො ච සතං දිට්ඨි සම්පන්නානං භොජෙය්‍ය, යො චෙකං සකදාගාමිං භොජෙය්‍ය, යො ච සතං සකදාගාමිනං භොජෙය්‍ය, යොචෙකං අනාගාමිං භොජෙය්‍ය යොච සතං අනාගාමිනං භොජෙය්‍ය යොචෙකං අරහන්තං භොජෙය්‍ය, යො ච සතං අරහන්තානං භොජෙය්‍ය, යොචෙකං පච්චේක බුද්ධං භොජෙය්‍ය, යො ච සතං පච්චේක බුද්ධානං භොජෙය්‍ය, යො ච බුද්ධපමුඛං සංඝං භොජෙය්‍ය, යො ච චාතුද්දිසං සංඝං උද්දිස්ස විහාරං කාරාපෙය්‍ය, යොච පසන්න චිත්තො බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගච්ඡෙය්‍ය. යො ච පසන්නචිත්තො සික්ඛාපදානි සමාදියෙය්‍ය, පාණාතිපාතා වෙරමණිං, අදින්නාදානා වෙරමණිං, කාමෙසුමිච්ඡාචාරා වෙරමණිං, මුසාවාදා වෙරමණිං, සුරාමෙරෙය මජ්ජපමාදට්ඨානා වෙරමණිං, යො ච අන්තමසො ගන්ධූහන මත්තම්පි මෙත්තං චිත්තං භාවෙය්‍ය ඉදං තතො මහප්ඵලතරං”

මෙය අංගුත්තර නිකායේ නවක නිපාතයේ වේලාම සූත්‍රයේ කොටසකි.

එයින් දැක්වෙන්නේ වේලාම බ්‍රහ්මණයා සත් අවුරුදු සත් මසක් මුළුල්ලෙහි ගණනින් ප්‍රමාණ කළ නො හෙන මහා ධනස්කන්ධයක් වියදම් කොට ලෞකික මහා ජනයාට දුන් මහා දානයට ද වඩා සෝවාන් පුද්ගලයකුට දෙන දානයකට ද වඩා, සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයකට ද වඩා, එක් සකෘදාගාමී පුද්ගලයකුට දෙන දානයට ද වඩා, සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට ද වඩා, එක් අනාගාමි පුද්ගලයකුට දෙන දානයට ද වඩා, අනාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට ද වඩා, අර්හත් පුද්ගලයකුට දෙන දානයට ද වඩා, අර්හත් පුද්ගලයන් සියයකට දෙන දානයට ද වඩා, පසේ බුදු කෙනකුට දෙන දානයට ද වඩා, පසේ බුදුවරයන් සියයකට දෙන දානයට ද වඩා, ලොවුතුරා බුදු කෙනකුට දෙන දානයට ද වඩා, බුදු පාමොක් සඟනට දෙන දානයට ද වඩා, සතර දිගින් වඩනා සංඝයා උදෙසා විහාරයක් කරවීමට ද වඩා, රත්නත්‍රය සරණ යාමට ද වඩා, පඤ්චශික්ෂාපද සමාදානයට ද වඩා සුවඳ දෙයක් අතට ගෙන වරක් සිඹින කාලය පමණ මෙත් සිත් වැඩීම මහත්ඵල බව ය. මෙත් සිත් වැඩීම ඒ සියල්ල ම පරදවන මහ පිනක් බව ය.

ඒකරාජ චරියාව

පෙර එක් කලෙක මහ බෝසතාණන් වහන්සේ කසීරට බරණැස් නුවර “ඒකරාජ” නමින් රජ වූහ. ඒ රජ්ජුරුවෝ දන්සැල් සයක් කරවා බොහෝ ධනය වියදම් කොට ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට දිනපතා මහ දන් දෙති. නිති සිල් රකිති. පෙහෙවස් වෙසෙති. ඉවසීමෙන් හා කරුණා මෛත්‍රියෙන් දරුවන් නළවන්නාක් මෙන් ජනයා සතු‍ටු කරවමින් දැහැමින් රජය කෙරෙති. සොරුන්ට පවා දඬුවම් නො දෙති. ඒ රජ්ජුරුවෝ අන්තඃපුරයෙහි දූෂිත ක්‍රියාවක් කොට හසු වූ ඇමතියකු රටින් නෙරපා දැමූහ.

ඒ දුෂ්ට ඇමතියා කොසොල් රට දබ්බසේන රජු වෙතට ගොස් ඔහුට සේවය කොට අනුක්‍රමයෙන් ඔහු හා විශ්වාසයට පැමිණ බරණැස් රජුගෙන් පලිගන්නට සිතා “දේවයන් වහන්ස, බරණැස් රජය මැස්සන් නැති මීවදයක් බඳුය. දැන් ඉන්නා රජ ඉතා මෘදුය, නුඹ වහන්සේට ලෙහෙසියෙන් ම එය අත්පත් කර ගත හැකිය’යි දබ්බසේන රජුට කීය. බරණැස් රජයේ බලය දන්නා දබ්බසේන රජු එපමණකින් ම ඔහුගේ කීම විශ්වාස නොකොට තවත් මිනිසුන් යවා පරීක්ෂා කරවා බරණැස් රජාණෝ සොරුන්ට පවා දඬුවම් නො කරන ඉතාම මෘදු කෙනකු බව ස්ථීර වශයෙන් ම දැන, ඒ රජය ගනු පිණිස සේනාව සමග පිටත් වී ය.

බරණැස් නුවර ද එපවත් සැලවීය. එකල්හි බෝසතාණන් වහන්සේ ගේ මහා යෝධයෝ තමන් ගේ රජ්ජුරුවන් වෙත ගොස් “දේවයන් වහන්ස, නුඹ වහන්සේට විරුද්ධව දබ්බසේන රජු සේනාව ගෙන නික්මුණෝය’ යි කියති. අපි එහි ගොස් මේ රටට ඇතුළු වන්නට කලින් ම ඔහු අල්ලාගෙන එමු” යයි කීහ.

මහ බෝසතාණන් වහන්සේ “මා නිසා අනුන්ට පීඩා කිරීමක් නැත’ය යි යෝධයන් වැළැක්වූහ. දබ්බසේන කාසි රටට ඇතුළු වූ පසු ද, යෝධයෝ බෝසතාණන් වහන්සේට එසේ ම සැල කළහ. බෝසතාණන් වහන්සේ පෙර සේ ම ඔවුන් වැළැක්වූහ. දබ්බසේන ගොස් බරණැස් නුවරින් පිටත සිට “රජය හෝ දෙනු, යුද්ධයට හෝ එනු” යයි බෝසතාණන් වහන්සේට හස්නක් යැවීය. බෝසතාණන් වහන්සේ “මාගේ යුද්ධයක් නැත. රාජ්‍යය ගනුව’යි පිළිතුරු යැවූහ. බෝසතාණන් වහන්සේ ගේ මහා යෝධයෝ තුන්වන වර ද “දේවයන් වහන්ස, දබ්බසේනට මේ නුවරට ඇතුළු වන්නට ඉඩ නො දෙමු ය, නගරයෙන් පිටතදී ම තළා ඔහු අල්ලා ගනිමු ය’යි කීහ.

මහ බෝසතාණන් වහන්සේ පෙර සේ ම ඔවුන් වළක්වා නගරද්වාරයන් හැර දමවා උඩු මහල් තලයේ රාජාසනයෙහි වැඩහුන් සේක. දබ්බසේන සේනාව හා නගරයට පිවිස එක සතුරකුදු නො දැක ලෙහෙසියෙන් ම මුළු නගරය අත් පත්කොට ගෙන රජ මැදුරට ගොස් නිරපරාධී බෝසතාණන් වහන්සේ ගෙන්වා ගෙල දක්වා පෙළොවෙහි වළ ලැවීය.

බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ ගේ රාජ්‍යය ද පැහැර ගෙන තමන් වහන්සේ පොළොවෙහි ද වළ ලැවූ සොර රජු ප්‍රිය පුත්‍රයකු මෙන් සිතුවා මිස ඔහුට නපුරක් නො සිතූහ. උන් වහන්සේ දුෂ්ට රජුට මෙත් කොට, ඉක්බිති කිසුණු පිරියම් කොට ධ්‍යානාහිඥා උපදවා වළෙන් නැගී අහසෙහි වැඩ හුන් සේක. සොර රජුගේ ඇඟ ගිනි ගන්නාක් මෙන් දැවෙන්නට විය. හේ බිම පෙරළෙමින් කෑගසන්නට විය. “මේ කිමෙක් දැ”යි සෙස්සන්ගෙන් ඇසූ කල්හි “දේවයන් වහන්ස, නුඹ වහන්සේ නිරපරාධී ධාර්මික රජතුමකුට අපරාධ කළාහු ය’යි ඔවුහු කීහ. “එසේ නම් වහා ගොස් රජු ගොඩ ගනිව් ය’යි සතුරු රජු කීය. රාජ පුරුෂයෝ එහි ගිය කල්හි බෝසතාණන් වහන්සේ වළෙන් ගොඩ නැඟී අහසෙහි වැඩ හිඳිනු දැක වහා ගොස් ඒ බව දබ්බසේන රජුට කීහ.

හේ වහා බෝසතාණන් වහන්සේ වෙත ගොස් වැඳ, සමාව ගෙන “නුඹ වහන්සේ ගේ රාජ්‍යය නුඹ වහන්සේ ම කරවන සේක්වා. මම මෙතැන් පටන් නුඹ වහන්සේ ගේ රජය සොරුන් ගෙන් ද ආරක්ෂා කරමි”යි කියා දුෂ්ට ඇමතියාට රජ අණ කරවා ගියේය. බෝසතාණන් වහන්සේ ද රජය ඇමතියන්ට භාර කොට පැවිදිව මහජනයා ශීලාදි ගුණයන්හි පිහි‍ටුවමින් ලෝ වැඩ කොට ආයු කෙළවර බඹලොව උපන්හ. (මේ කථාව ජාතක අ‍ටුවාවෙහි මෙයට මඳක් වෙනස් අයුරකින් ඇත්තේ ය. මෙහි දක්වන ලදුයේ චරියාපිටක අ‍ටුවාවෙහි සැටියට ය.)

මෛත්‍රී පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය

මෛත්‍රී පාරමිතාව පුරන බෝධිසත්ත්වයා විසින් පළමු කොට ම “මම ලෝකයේ කිසිවකුට සතුරු නො වෙමි ය. මම ලොව හැම දෙනා ගේ ම මිත්‍රයෙක් වෙමි ය, හිතවතෙක් වෙමිය, හැම දෙනාට ම උපකාර කාරයෙක් වෙමිය’ යි සිතා ගත යුතු ය. ලොව හැම දෙනා ම තමා මෙන් සිතිය යුතු ය. අනුන්ට වන නින්දා අලාභහානි දුක් කරදර තමාට වන ඒවා සේ සැලකිය යුතු ය. අනුන්ට අලාභයක් - හානියක් - නින්දාවක් - කරදරයක් වන කිසි ම ක්‍රියාවක් නො කළ යුතු ය. සෑම වරදක් ම ඉවසිය යුතු ය.

මේ ගුණාංගයන්හි පිහිටා “මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතං හොති සබ්‍රහ්මචාරීසු ආචී චෙව රහො ච, මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති සබ්‍රහ්මචාරිසු ආචී චෙව රහො ච, මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්‍රහ්මචාරීසු ආචී චෙව රහො ච” යනුවෙන් දැක්වෙන පරිදි ඒ ඒ අය ඇති නැති සෑම තැනදී ම, අනුන් කෙරෙහි මෛත්‍රී සහගත කායකර්ම පැවැත්විය යුතු ය. මෛත්‍රී සහගත වාක්කර්ම පැවැත්විය යුතුය. මෛත්‍රී සහගත මනඃකර්ම පැවැත්විය යුතු ය.

මෛත්‍රී සහගත කායකර්ම

ශරීරය පිරිසිදු කර දීම්, වස්ත්‍ර පිරිසිදු කර දීම්, වාසස්ථාන පිරිසිදු කර දීම්, ආහාර පාන බෙහෙත් සපයා දීම්, වෙදුන් පමුණුවා දීම් ආදියෙන් රෝගීන්ට උපකාර කිරීමය, මහල්ලන්ට, දුබලයන්ට, අසරණයන්ට උපකාර කිරීම ය, චෛත්‍ය ප්‍රතිමා ගෘහ බෝධ්‍යංගණයන්හි හැමදීම් කසළ ඉවත් කිරීම් ආදි වත් කිරීම ය, භික්ෂූන් වහන්සේලාට සිවුරු සෝදා දීම්, පඬු සපයා දීම්, නෑමට ජලය සපයා දීම්, අසුන් පනවා දීම්, වාසස්ථාන පවිත්‍ර කර දීම්, පාත්‍රාදි පරිභෝග භාණ්ඩ පිරිසිදු කර දීම්, දානය හා ගිලන්පස සපයා දීම්, වාසය කිරීමට ආවාස තනා දීම් ආදියෙන් උපකාර කිරීම ය, ජනයා වැඳුම් කොට පින් සිදු කර ගනිත්වා යි ප්‍රතිමාගෘහ කරවීම ය, චෛත්‍ය කරවීම ය, බෝ රුක් රෝපණය කර වීම ය, ජනයෝ පින්කම් කෙරෙත්වා යි දහම් අසත්වා යි දහම්හල් කරවීම ය, බාලයෝ උගනිත්වා යි පාසැල් කර වීම ය, මහජනයාට ප්‍රයෝජන වෙත්වා’යි වැව් - ළිං - පොකුණු කරවීම ය, ගස් සි‍ටුවීම ය, පාරවල් සෑදීම ය, මිනිසුන් ගමන් කරන තැන්වල ගල් මුල් ක‍ටු ආදිය ඉවත් කිරීම ය, අසරණයෝ වෙසෙත්වා, යි අම්බලම් කරවීම්, ගෙවල් සෑදීම්, ගෙවල් සෙවෙනි කිරීම්, කුඹුරු වැපිරීම් ආදියෙන් අනුන්ට උපකාර වීම, මඟුල් අවමඟුල් වලදී අනුන්ට උපකාර වීම යනාදිය මෛත්‍රී සහගත කාය කර්මයෝ ය.

මෛත්‍රී සහගත වාක්කර්ම

අනුන් හා කථා කිරීමේ දී ඔවුන් ගේ සිත නො රිදෙන සැටියට සිත් සතු‍ටු වන සැටියට, ඒ ඒ තැනැත්තා ගේ තරාතිරම අනුව හාමුදුරුවන් වහන්සේ, ස්වාමීන් වහන්සේ, මහත්මයා, රාළහාමි, අප්පුහාමි, නෝනා, හාමිනේ, මැණිකේ, අයියා, මල්ලී, අක්කා, නංගී යනාදීන් ප්‍රිය වචනයෙන් ම ඒ ඒ අය ගැන කථා කිරීම ය, ඒ ඒ අය නැති තැනදී ද අසවල් ස්වාමීන් වහන්සේ අසවල් මහත්මයා අප්පුහාමි හාමිනේ යනාදීන් ප්‍රිය වචනයෙන් ම ඒ ඒ අය ගැන කථා කිරීම ය, අනුන් හොඳ මඟ යෙත්වා යි තමා දන්නා බණ දහම් අනුන්ට කීම ය, අනුන්ට යහපතක් වේවා යි තමා දන්නා ප්‍රයෝජනවත් කරුණු අනුන්ට කියා දීම ය, අනුන් වරදවා යම් යම් වැඩ කරනු දු‍ටු කල්හි ඒවා කර ගන්නා සැටි කියා දීම ය, ගුණවතුන් ගේ ගුණ ඔවුනට ගෞරවයෙන් කීම ය, හොඳ වෛද්‍යයන්, හොඳ කර්මාන්ත කාරයන්, අවංක වෙළෙන්දන් අනුන්ගේ යහපත පිණිස හඳුන්වා දීම ය. එසේ ම අනුන්ගේ යහපත පිණිස වඤ්චාකාරයන් හඳුන්වා දීම ය, භේද වූවන්ට සමගිය පිණිස අනුශාසනය කිරීම ය, රෝගීන්ට රෝගය සුව කර ගැනීමට උපදෙස් දීම ය, දිළින්දන්ට දිළිඳු කමින් මිදීමට උපදෙස් දීම ය, පව්කම් කරන්නවුන්ට ඒවා නො කරන්නට අනුශාසනා කිරීම ය, පින් නො කරන්නවුන්ට බණ අසන්නය, පන්සල් යන්නය, වන්දනාවට යන්නය, දන් දෙන්නය, සිල් රකින්නය, භාවනා කරන්නය කියා අනුශාසනා කිරීමය, මාපියනට නො සලකන දරුවන්ට මාපියන්ට සලකන්නට අනුශාසනා කිරීම ය, නිකම් කාලය ගත කරන්නන්ට යම්කිසි වැඩක යෙදෙන ලෙස අනුශාසනා කිරීමය යනාදිය මෛත්‍රී සහගත වාක් කර්මයෝ ය.

මෛත්‍රී සහගත මනඃ කර්ම

පහන් මුහුණින්, සිනා මුහුණින්, හොඳ හිතින් අනුන් දෙස බැලීමත් අසවලා සුවපත් වේවා, නිදුක් වේවා යනාදීන් එක් එක් පුද්ගලයකුගේ වශයෙන් හා සමූහ වශයෙන් ද අනුන්ට තමා ගේ සිතින් සුබ පැතීමත් මෛත්‍රී සහගත මනඃකර්මයෝ ය. සිතින් සුබ පැතීම නැවත නැවත කිරීම මෛත්‍රී භාවනාව ය. එය බුද්ධාගමයේ උසස් භාවනාවකි. එය ඵලදායක වන්නට කරන සැටි තේරුම් ගෙන කළ යුත්තකි. එබැවින් මෙතැන් පටන් මෛත්‍රී භාවනාව ගැන විස්තරයක් කරනු ලැබේ.

මෛත්‍රී භාවනාව

මෛත්‍රී සහගත කාය කර්මයෙන් අනුන්ට යහපත සිදු කරන්නාක් මෙන් ද, හොඳ නරක කියා දීම්, නො යෙක් වැඩවලට උපදෙස් දීම් ආදියෙන් වචනයෙන් අනුන් ගේ යහපත සිදු කරන්නාක් මෙන් ද, කය වචන දෙක උපයෝගී කර නො ගෙන සිතින් පමණක් අනුන්ට යහපත සිදු කිරීම මෛත්‍රී භාවනාව ය.

ධ්‍යාන වසා අභිඥා උපදවා ගත් යෝගාවචරයන්ගේ අභිඥා චිත්තයෙහි නොයෙක් දේ සිදු කළ හැකි මහා බලයක් ඇත්තේ ය. යම් කිසි ක්‍රමයකින් බලය ඇති නො කරන ලද දියුණු නො කළ සාමාන්‍ය ජනයා ගේ සිත්හි කය උපයෝගී කර නො ගෙන ඉටිපන්දමක් නිවීමට, පුළුන් රොදක් සෙලවීමට තරම් ශක්තියකුදු නැත. මෛත්‍රී භාවනා කරමි යි කියා “සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා’යි කොතෙක් කීවත්, කොතෙක් සිතුවත්, එයින් කිසිවකු සුවපත් නො වෙත හොත් කාහටවත් එයින් යහපතක් සිදු නො වෙත හොත්, ඒ භාවනාවේ ඇති වටිනා කමක් නැත.

භාවනාව වටිනා කමක් ඇති සත්‍ය මෛත්‍රී භාවනාවක් වන්නට නම්, එය අනුන් සුවපත් වන සැටියට ම කළ යුතු ය. සාමාන්‍ය ජනයා ගේ දුබල සිතින් සර්වාකාරයෙන් අන්‍යයන් සුවපත් කළ නො හැකි වතුදු යම් යම් ආකාරවලින් එක්තරා ප්‍රමාණයකින් අනුන් සුවපත් කළ හැකි ය. එය කළ හැකි වන්නේ ද සිතින් අනුන්ට ලබා දිය හැකි සුවයත්, එය ලබා දිය හැකි ආකාරයත් දැනගෙන ක්‍රමානුකූලව මෛත්‍රී භාවනාව කරන පින්වතාට පමණකි.

සුවය අනේකාකාර වේ. ධනය ඇති බවත් සුවයෙකි. ගරු බුහුමන් ලැබීමත් සුවයෙකි. ප්‍රශංසා ලැබීමත් සුවයෙකි. ප්‍රිය වස්තු දැකීමත් සුවයෙකි. ප්‍රිය ශබ්ද ඇසීමත් සුවයෙකි. ප්‍රිය ගන්ධ ආඝ්‍රාණයත් සුවයෙකි. මිහිරි රස වැළඳීමත් සුවයෙකි. හොඳ පහස් ලැබීමත් සුවයෙකි. නෑයන් මිතුරන් ඇති බවත් සුවයෙකි. නීරෝගී බවත් සුවයෙකි. වෛර නැති බවත් සුවයෙකි. සතුරන් නැති බවත් සුවයෙකි. සතුරු උවදුරු නැති බවත් සුවයෙකි.

මෙසේ ඇත්තා වූ අනේකප්‍රකාර සැප සියල්ල ම තමා ගේ සිතින් තවත් අයට ලබා දිය හැක්කේ නො වේ. “දුප්පතෙක් පොහොසත් වේවා” යි අවුරුදු ගණක් සිතුවේ වී නමුත් එයින් දුප්පතා පොහොසත් නොවේ. මෙසේ සැපයන් ගෙන් බොහෝවක් තවත් කෙනකුට කෙනකු ගේ සිතින් පමණක් ඇති කළ නො හෙන ඒවා ය. වෛර නැති බව, සතුරන් නැති බව, සතුරු උවදුරු නැති බව යන මේ සැප තුන තමා ගේ සිතින් ද එක්තරා ප්‍රමාණයකින් අනුන්ට ලබාදිය හැකිය. මඳක් සිත දියුණු කර ගත් අයට නිරෝගී බව ආදී තවත් සැප ද චිත්ත බලයෙන් තරමක් දුරට අනුන්ට ඇති කර දිය හැකි ය.

සත්ත්වයන්ගේ සිත් නිසා ගස්වැල් ආදී ද්‍රව්‍යවල යම් කිසි වෙනසක් සිදු නො වතුදු එක් අයකුගේ සිත නිසා තවත් අයකු ගේ සිතෙහි වෙනස්කම් සිදුවන බව ලෝ තතු නුවණින් කලක් විමසුව හොත් තේරුම් ගතහැකි වනු ඇත. යම් පෙදෙසක වෙසෙන මිනිසුන් තුළ යම් බඳු සිතක් බොහෝ සෙයින් ඇති වේ නම් ඒ පෙදෙසට පැමිණෙන අන්‍යයන් කෙරෙහි ද එබඳු සිත් ඇති වේ. යම් පෙදෙසක වෙසෙන මිනිසුන් යමක් හොඳය කියා හෝ නරකය කියා හෝ ලස්සනය කියා හෝ කැතය කියා හෝ සලකනවා නම්, ඒ පෙදෙසට පසුව පැමිණෙන තැනැත්තාට ද ක්‍රමයෙන් ඒ අදහස් ම ඇති වේ. එයට හේතුව අදහස් බෝ වීම ය. යම් කිසි අදහසක් අනුන්ගේ සිත්වලටත් බෝ කළ හැකි ශක්තියක් සිතට ඇත්තේ ය.

එක් අයෙකු කෙරෙහි බලවත් ව ඇති වන්නා වූ ද බොහෝ සෙයින් ඇති වන්නා වූ ද සිතක් වේ නම් ඔහුට සමීපව වෙසෙන අන්‍යයන්ට ද එබඳු සිතක් ඇති වේ. එබැවින් තමා යම් කිසි සිතක් තදින් ඇති කර ගෙන ඒ සිත අනුන්ට ද බෝකළ හැකි ය. යම් කිසි අදහසක් ඇති කර ගෙන අනුන්ට ද එය බෝ කළ හැකිය. ශාරීරික රෝග ශරීරවලට බෝ වන්නාක් මෙන් සිත්වල ඇති වන ගුණාගුණ සිත්වලට බෝ වී යාම තේරුම් ගත යුතු ය. මෛත්‍රී භාවනාවෙන් අන්‍යයන්ට සැප ඇති කළ හැක්කේ අදහස් බෝ කිරීම් වශයෙනි.

මෛත්‍රී භාවනාව බුද්ධාදීන් විසින් වර්ණනා කරන ලද්දක් ය, බොහෝ අනුසස් ඇතියක් ය, ඒ නිසා මම ද එය කරමි” යි මෛත්‍රී වඩන තැනැත්තා ගේ ඒ මෙත් වැඩීම පරාර්ථය ප්‍රධාන කරගෙන කරන්නක් නොව ආත්මාර්ථය ප්‍රධාන කරගෙන කරන්නකි. එබැවින් එය අවංක මෛත්‍රියක් නොවේ. එය මෛත්‍රියක් වුව ද අබල දුබල මෛත්‍රියකි. මෙත් වැඩීමෙන් තමා ලබන අනුසස් අපේක්ෂා නො කොට “සිතෙන්වත් මා අන්‍යයන් සුවපත් කරවන්නට ඕනෑය” යන අදහස පෙරදැරි කරගෙන මෙත් වඩන තැනැත්තා ගේ භාවනාව ම අවංක මෛත්‍රී භාවනාව වේ. අනුන් සුවපත් කළ හැක්කේ ඒ අවංක මෛත්‍රී භාවනාවෙනි.

බොහෝ දෙනා තමාට පින් ලබා ගැනීමේ අදහසින් මෛත්‍රීයේ අනුසස් තමන් ලබා ගැනීමේ අදහසින් භාවනා කරමු යි “සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා” යි කියති. සිතති. එයින් සත්‍ය වශයෙන් අන්‍යයෝ පොහොසත් වී නිරෝගී වී සුවපත් වන්නාහු නම් මුදලක් ගෙවා කරවාගත හොත් මිස නිකම් නම් ඔවුහු නො කරන්නාහ. ඔවුන් නො මිලයේ එසේ කරන්නේ අන්‍යයන්ට නොව තමන්ට යම්කිසි අනුසසක් ලැබේය යන අදහසිනි. එසේ ආත්මාර්ථය පිණිස කරන මෛත්‍රිය උසස් මෛත්‍රිය නොවේ. උසස් මෛත්‍රිය වන්නේ, අවංක මෛත්‍රිය වන්නේ, අනුන් සුවපත් කිරීමට සමර්ථ වන්නේ, ආත්මාර්ථය නො තකා පාරාර්ථය ම සලකා වඩන මෛත්‍රිය ය.

මෛත්‍රී භාවනාව කරන පින්වතා “මා විසින් අන්‍යයන් සුවපත් කළ යුතු ය, එහෙත් අන්‍යයන්ට ආහාරපාන - වස්ත්‍ර - වාසස්ථානාදිය සපයා ඔවුන් සුවපත් කිරීමට, මම අපොහොසත් වෙමි. මම සුබ පැතීම් වශයෙන් වත් ඔවුනට උපකාර වන්නෙමි” යි සලකා මෙත්වැඩීම පටන් ගත යුතු ය. මෙත් වැඩීම නම් සත්ත්වයන්ට ශුභ ප්‍රාර්ථනා කිරීම යි. හිතය හා සුඛය පැමිණිමේ ප්‍රාර්ථනය ය, අහිතය හා දුඃඛය නො පැමිණීමේ ප්‍රාර්ථනය යි මෛත්‍රී භාවනාවට අයත් ප්‍රාර්ථනය දෙ වැදැරුම් වේ.

සත්ත්වයෝ සුවපත් වෙත්වා යනු සැපය පැමිණීමේ ප්‍රාර්ථනයයි. සත්ත්වයෝ සුවපත් වෙත්වා යි මෙත් වැඩීම් වශයෙන් පැතීමෙන් අන්‍ය සත්ත්වයන් සැපයට පැමිණෙන සැටි අන්‍ය සත්ත්වයන් කරා සැපය එන හැටි මෙත් වඩන්නා විසින් දැන ගත යුතු ය. යම්කිසි සත්ත්ව සමූහයක් ලක් කොට මේ සත්ත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා යි මෙත් වඩනා කල්හි ඒ ආනුභාවයෙන් ඒ සත්ත්වයන් කරා ධනය ගලා ඒමක් හෝ නිකම්ම ඒ සත්ත්වයන් ගේ සිත කය පිනා යාමක් හෝ වී ඒ සත්ත්වයෝ සුවපත් නො වෙති. යම් කිසිවකු අන්‍ය සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා යි මෙත් වඩා නම්, ඔහු ගේ ඒ මෛත්‍රී චිත්තය එයට ලක්වන සත්ත්වයන්ගේ සිත හා නැවත ගැටීමෙන් ඔවුන් කෙරෙහි ද ඔවුන්ට නො දැන ම සත්ත්වයෝ සුවපත් වෙත්වා යන මෛත්‍රී අධ්‍යාශය ඇති වේ.

එයින් ඔවුන් ගේ සන්තානවල පවත්නා වෛර - ක්‍රෝධ - ඊර්‍ෂ්‍යා තුනී වේ. සමහර වෛර සම්පූර්ණයෙන් ම ද දුරු වේ. වෛරයක් ඇති බවත් දුකෙකි. ක්‍රෝධ ඊර්‍ෂ්‍යා ඇති බවත් දුකෙකි. ඒ දුක් නැති බව සුවයෙකි. සුවපත් වෙත්වා යි මෙත් වැඩීමෙන් අන්‍යයන්ට ලබා දිය හැක්කේ ඒ වෛර - ක්‍රෝධ - නැති බව වූ සුවය ය.

සත්ත්වයෝ සුවපත් වෙත්වා යි මෙත් වඩන තැනැත්තා විසින් නියමයක් නැති සුවයක් හෝ හැම සුවය ම හෝ අන්‍ය සත්ත්වයන්ට ම ලැබෙන අදහසක් ඇති කර නොගෙන, මෛත්‍රී බලයෙන් ලබා දිය හැකි වෛර - ක්‍රෝධ - ඊර්‍ෂ්‍යා නැති බව වූ සුවය ලබා දීමේ අදහසින් සුවපත් වෙත්වා යි මෙත් වඩිය යුතු ය. සිදු නො වන බව පෙනි පෙනී සිදු නො වන දෙයක් වේවා යි අවංක ව එය සිදු කර දීමේ අදහසින් නො පැතිය හැකිය. සිදු නො වන බව දැන දැන ම සිදු නො වන දෙයක් පැතීම සත්ත්වයනට සැප ලබා දීමේ ව්‍යායාමයක් නො වන බැවින් ඒ මෛත්‍රිය සැබෑ මෛත්‍රියක් වශයෙන් ගණන් ගැනීමට ද දුෂ්කර ය.

“නිදුක් වෙත්වා” යන ප්‍රාර්ථනය ය, අහිතය - දුඃඛය නො පැමිණීමේ ප්‍රාර්ථනය ය. මෙත් වඩන්නහු ගේ නිදුක් වෙත්වා යන ප්‍රාර්ථනයෙන් ද බලාපොරොත්තු විය යුත්තේ සත්ත්වයන් කරා හැම දුකක් ම පැමිණෙන්නට නො දීමක් නොව, වෛර - ක්‍රෝධ - ඊර්‍ෂ්‍යා ඇතිකමින් වන දුක්වලින් සත්ත්වයන් ‍රැකීම ය. එයින් සිදු කළ හැක්කේ එපමණෙකි. නිදුක් වෙත්වා යි මෙත් වැඩීමෙන් ජාති දුක් - ජරා දුක් - මරණ දුක් ආදියෙන් සත්ත්වයෝ නො මිදෙන්නා හ.

මෙත් බවුනෙහි දී භාවිත කරන “නිරෝගී වෙත්වා” යන පැතුමත් බොහෝ සත්ත්වයන් ලක් කොට කිරීමේ දී සඵල නො වේ. එක් පුද්ගලයකු හෝ පුද්ගලයන් ස්වල්ප දෙනකු හෝ අරභයා “නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා’යි මෙත් වැඩුව හොත් එයින් රෝගීන්ට ගුණ ලැබේ. සමහර රෝග සම්පූර්ණයෙන් ම ද සුව වේ. සකල සත්ත්වයන්ට මෙත් වැඩීම දැක්වීමේ දී මෛත්‍රී සූත්‍රයෙහි හා පටිසම්භිදා මග්ග, විසුද්ධි මග්ගයන්හි ද නිරෝගී වෙත්වා යන ප්‍රාර්ථනය ඇතුළු කොට නැත.

මෛත්‍රී සූත්‍රයෙහි “සුඛිනො වා ඛෙමිනො හොන්තු” යනාදීන් සුවපත් වීමේ පැතීම මුල් කොට මෛත්‍රී භාවනාව උගන්වා තිබේ. විශුද්ධිමාර්ගයෙහි “අවෙරා හොන්තු” යන ප්‍රාර්ථනය මුල් කොටමෛත්‍රී භාවනාව උගන්වා තිබේ. ඒ දෙකින් - මෙත් වැඩීමෙන් අනුන්ට සිදුකර දිය හැකි යහපත දෙස බලා මෙත් වැඩීමේදී “අවේරා හොන්තු” යන ප්‍රාර්ථනය ම වඩා සුදුසු බව කිය යුතු ය. එහෙත් සුවපත් වෙත්වා යන ප්‍රාර්ථනයට බොහෝ දෙනා ඉතා කැමැත්තෝ ය. මෛත්‍රී සූත්‍රයෙහි එය මුල් කොට මෙත් වැඩීම උගන්වා ඇත්තේ එහෙයිනැ යි සිතමු.

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා” යි මෙත් වැඩීමේ ක්‍රමය වර්තමාන බෞද්ධයන් අතර ප්‍රචාරය වී ඇතත් ඒ ක්‍රමය යම් කිසි බුද්ධ දේශනයක හෝ විසුද්ධිමග්ගාදියෙහි හෝ දක්නට නැත. එය කෙසේ පුරුදු වූවක් දැයි නො දනිමු. සුවපත් වේවා යි මෙත් වැඩීමට වැඩිදෙනා කැමති බැවින් එය මුල් කොට භාවනා ක්‍රමයක් දක්වනු ලැබේ. මෙය පාඩම් කරගෙන භාවනා කිරීමෙන් මෛත්‍රී පාරමිතාව පුරුදු කළ හැකිය.

මෛත්‍රී භාවනා වාක්‍යය

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, උවදුරු නැත්තෝ වෙත්වා, කෙනෙක් කෙනකුට සතුරු නො වෙත්වා, කෙනෙක් අනිකකු පහත් කොට නො සිතත්වා, අනුන් ගේ දියුණුවට අනුන් ගේ සැපයට කැමති වෙත්වා, අනුන්ට කරදර කිරීමට දුක් දීමට කැමති නො වෙත්වා.

මෙය අනුන් ගේ සිත්වලට මෛත්‍රිය බෝ කිරීම් වශයෙන් සත්ත්වයන් සුවපත් කළ හැකි භාවනා ක්‍රමයකි. අවංකව සත්ත්වයන් සුවපත් කිරීමේ බලාපොරොත්තුවෙන් ම මේ භාවනාව කරනු. එක ම දෙයක් නැවත නැවත කීමේ දී සිතීමේ දී සමහර විට අලස බවක් ඇති වේ. එසේ වීම වළක්වා ගැනීමට කළ යුත්තේ ප්‍රදේශ දිශාදීන් ගේ වශයෙන් සත්ත්වයන් බෙද බෙදා මෙත් වැඩීම ය. එසේ කරන කල්හි තමා වෙසෙන ගමේ හෝ නගරයේ සත්ත්වයෝ ය, රටේ සත්ත්වයෝය, ඉන් ඔබ වෙසෙන සත්ත්වයෝ ය යි සත්ත්වයන් තුන් කොටසකට බෙදා ද, උඩ ඉන්නා සත්ත්වයෝ ය, යට ඉන්නා සත්ත්වයෝ ය, සරස ඉන්නා සත්ත්වයෝ යයි තුන් කොටසකට බෙදා ද, දුර වෙසෙන සත්ත්වයෝ ය, ළඟ වෙසෙන සත්ත්වයෝ ය යි දෙ කොටසකට බෙදා ද, දු‍ටු සත්ත්වයෝ ය, නුදු‍ටු සත්ත්වයෝ යයි දෙ කොටසකට බෙදා ද, කුඩා සත්ත්වයෝ ය, මහා සත්ත්වයෝ ය, මධ්‍යම සත්ත්වයෝ යයි තුන් කොටසකට බෙදා ද, මෙත් වැඩීම කළ යුතු ය. තමා කැමති සැටියට තවත් නොයෙක් ක්‍රමවලට බෙදා ද මෙත් වැඩීම කළ හැකිය.

විස්තර වශයෙන් භාවනා කිරීමේ ක්‍රමය

මේ ගමේ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, උවදුරු නැත්තෝ වෙත්වා, කෙනෙක් කෙනකුට සතුරු නොවෙත්වා, කෙනෙක් අනිකකු පහත් කොට නො සිතත්වා, අනුන්ගේ දියුණුවට අනුන්ගේ සැපතට කැමති වෙත්වා, අනුන්ට කරදර කිරීමට දුක් දීමට නො කැමති වෙත්වා!

මේ රටේ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, උවදුරු නැත්තෝ වෙත්වා, කෙනෙක් කෙනකුට සතුරු නොවෙත්වා, කෙනෙක් අනිකකු පහත් කොට නො සිතත්වා, අනුන්ගේ දියුණුවට අනුන්ගේ සැපතට කැමති වෙත්වා, අනුන්ට කරදර කිරීමට දුක් දීමට නො කැමති වෙත්වා!

මෙරටින් ඔබ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ....-පෙ-

උඩ ඉන්නා සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා .... -පෙ-

යට ඉන්නා සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා .... -පෙ-

සරස ඉන්නා සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ....-පෙ-

දුර වෙසෙන සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා .... -පෙ-

ලඟ වෙසෙන සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ....පෙ-

දැක ඇති සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා .... -පෙ-

නො දු‍ටු සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා .... -පෙ-

කුඩා සත්ත්වයෝ සුවපත් වෙත්වා .... -පෙ-

මහා සත්ත්වයෝ සුවපත් වෙත්වා .... -පෙ-

මධ්‍යම සත්ත්වයෝ සුවපත් වෙත්වා .... -පෙ-

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා .... -පෙ-

මෙසේ විස්තර වශයෙන් භාවනා කරනු.

මාතා යථා නියං පුත්තං ආයුසා එකපුත්තමනුරක්ඛෙ

එවං පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමාණං

යනුවෙන් දැක්වෙන එක දරුවකු ඇති මවක සේ ඒ දරුවා ගේ දියුණුවට සැපයට ඇති මහත් වූ කැමැත්ත බඳු බලවත් මෛත්‍රී අධ්‍යාශය ඇති කර ගෙන කියන ලද පරිදි මෛත්‍රී භාවනාව කරන කල්හි මෛත්‍රී භාවනාවට ලක්වන සත්ත්වයන් ගේ සිත්වලට මෙත් වඩන්නාගේ චිත්තයේ පහස ලැබීමෙන් ඒ සත්ත්වයන් තුළ ද මෛත්‍රී චිත්තය ඇති වී ඔවුන් කෙරෙහි පවත්නා වෛර - ක්‍රෝධ - ඊර්ෂ්‍යයා තුනී වීමෙන් ද ඒවායින් සමහරක් සම්පූර්ණයෙන් නැති වීමෙන් ද ඒ සත්ත්වයෝ සුඛිත වෙති. එය මෛත්‍රී භාවනාවෙන් අන්‍යන්ට සිදු වන යහපත ය. අන්‍යයන්ට ඇති වන සුවය ය.

මෛත්‍රීයෙන් අන්‍යයන්ට ලැබෙන්නා වූ සුවය වඩා ලැබෙන්නේ ද ඉක්මනින් ලැබෙන්නේ ද භාවනා කරන තැනැත්තාට සමීපව වෙසෙන සත්ත්වයන්ට ය. එබැවින් මෙත් වඩන ඇතැම් යෝගීන් වෙසෙන වනයන්හි වෙසෙන තිරිසන් සත්ත්වයෝද ඔවුනොවුන් සමගියෙන් වෙසෙති. මෙත් වඩන ඇතැම් යෝගීන් වෙසෙන තැන්වලට පැමිණි කල්හි ජන්මයෙන් ම ඔවුනොවුන් සතුරු සර්ප මුගටි ආදීහු ද සමගි වෙති.

සාම කුමාරයන් හා වන මෘගයන් මිත්‍රව විසුවේ ද විශාක තෙරුන් වහන්සේ වෙසෙන කල්හි සිතුල් පවුවේ භූතයන් සමගියෙන් විසූයේ ද මෛත්‍රීචිත්තයේ ස්පර්ශය ලැබීමෙනි. දුර ඉන්නා සත්ත්වයන්ට මෛත්‍රියේ ඵලය ලැබෙන්නේ මඳ වශයෙනි. යෝගාවචරයා ගේ මෛත්‍රී චිත්තයේ බලවත් කමේ සැටි සැටියට එහි බලය දුරට පැතිරේ. යම් කිසි රටක අවංකව මෙත් වඩන අය බොහෝ දෙනකුන් වුව හොත් ඒ රටට එයින් මහත් සැනසිල්ලක් ඇති වේ.

මෛත්‍රී පාරමිතාවේ ප්‍රභේදත්‍රය

තමාට අලාභ කරන, තමාගේ අඹුදරුවන්ට පීඩා කරන, සතුරන්ට ද නො කිපී පවත්වන මෛත්‍රිය මෛත්‍රී පාරමිතාවය.

තමා ගේ ශරීරාවයවයන්ට හානි කරන තැනැත්තන් කෙරෙහි ද නො කිපී පවත්වන මෛත්‍රිය මෛත්‍රී උප පාරමිතාවය.

තමාගේ දිවි තොර කරන්නවුන් කෙරෙහි ද නො කිපී පවත්වන මෛත්‍රිය මෛත්‍රී පරමාර්ථ පාරමිතාව ය.

10. උපේක්ෂා පාරමිතාව

බුදු සමයෙහි උපෙක්ඛා යන නාමය ධර්ම බොහෝ ගණනකට යෙදේ. තමාට කරදර කරන දුක් ඇති කරන පුද්ගලයන්ට විරුද්ධ වීමක් ද නැති ව, තමාට ඇලුම් කරන ගරු බුහුමන් කරන උපකාර කරන හිතකාමීන්ට ඇලුම් කිරීමක් හෝ විශේෂයෙන් මෛත්‍රිය කිරීමක් හෝ නැතිව, ලෝකයා ලස්සනය කියා හොඳය කියා ඇලුම් කරන ඉෂ්ට වස්තූන්ට ඇලුම් නො කර, ලෝකයා විසින් කැතය නරකය කියා පිළිකුල් කරන අනිෂ්ට වස්තූන් පිළිකුල් කිරීමක් ද නැතිව, සකල සත්ත්වයන් කෙරෙහි හා සකල වස්තූන් කෙරෙහි සම සිත පවත්වන ස්වභාවය මේ පාරමිතා විෂයෙහි අදහස් කරන උපේක්ෂාව ය.

තුන්තරා බෝධිය අතුරෙන් එක්තරා බෝධියක් පිණිස පවත්වන්නා වූ ඒ උපේක්ෂාව උපේක්ෂා පාරමිතාව ය. චරියා පිටක අ‍ටුවාවෙහි -

“කරුණුපාය කොසල්ලපරිග්ගහිතා අනූනය පටිඝ විද්ධංසනී ඉට්ඨානිට්ඨෙසු සත්ත සංඛාරෙසු සමප්පවත්ති උපෙක්ඛා පාරමිතා”

යනුවෙන් මහාබෝධී උපේක්ෂා පාරමිතාව දක්වා තිබේ. කරුණාවෙන් හා උපාය කෞශල්‍යඥානයෙන් පරිගෘහිත වූ ඇලීම් - විරුද්ධවීම් දෙක දුරු කරන ඉෂ්ටානිෂ්ට සත්ත්ව සංස්කාරයන්හි සමව පැවැත්ම උපේක්ෂා පාරමිතාව’ ය යනු එහි තේරුම ය.

උපේක්ෂා බ්‍රහ්මවිහාරය ද බෝසතුන් වඩන ධර්මයෙකි. එහෙත් එය උපේක්ෂා පාරමිතාව නො වේ. උපේක්ෂා බ්‍රහ්මවිහාර - උපේක්ෂා පාරමිතා දෙක්හි වෙනස මෙසේ ය: මෙත්වැඩීම් වශයෙන් සත්ත්වයන් සුවපත් කිරීමේ උත්සාහය හා සත්ත්වයන් දුකින් මිදවීමේ උත්සාහය හැර, සත්ත්වයන් ගැන මධ්‍යස්ථ වීම උපේක්ෂා බ්‍රහ්මවිහාරය ය. හිතාහිත සත්ත්ව සංස්කාරයන් කෙරෙහි ඇලීම් විරුද්ධ වීම් දෙක හැර මධ්‍යස්ථ වන ස්වභාවය උපේක්ෂා පාරමිතාව ය.

උපේක්ෂා පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය

උපේක්ෂා පාරමිතාවට උත්සාහය ඇති වනු පිණිස මතු දැක්වෙන කරුණු මෙනෙහි කළ යුතු ය. තමන්ට ස්තුති කරන, ගරු බුහුමන් කරන, උපකාර කරන, සත්ත්වයන් ගැන සතු‍ටු වී, ඔවුන් කෙරෙහි ඇලීමත්, අවමන් කරන කරදර කරන සත්ත්වයන් කෙරෙහි කිපී ඔවුනට වෛර කිරීමත් - එසේ ම ඉෂ්ට වස්තූන්ට ඇලුම් කිරීමත් - අනිෂ්ට වස්තුන් පිළිකුල් කොට බැහැර කිරීමත්, ලෝකයෙහි සාමාන්‍ය සත්ත්වයන් ගේ ස්වභාවය ය.

එය උසස් ගතියක් නොව ලාමක ගතියකි. ඒ ස්වභාවය පවත්නා තුරු ඔවුනට සසර දුකින් නො මිදිය හැකි ය. හිතාහිත සත්ත්වයන් කෙරෙහි හා ඉෂ්ටානිෂ්ට වස්තුන් කෙරෙහි සමසිත් ඇති බව මහා ගුණයෙකි. ෂඩංගෝපේක්ෂාව නම් වූ රහත් ගුණයටත්, තාදී ගුණය නම් වූ රහත් ගුණයටත් මේ උපේක්ෂා පාරමිතාව බොහෝ සමාන කම් ඇති ගුණයෙකි. එය දානාදි පාරමිතා නවයට ම ඉතා උපකාරක ගුණ ධර්මයෙකි.

උපේක්ෂාවෙහි නො පිහිටි තැනැත්තාට දානාදි පාරමිතා මැනවින් නො පිරිය හැකිය. සත්ත්වයන් ගෙන් කොටසකට ඇලුම් කරන, කොටසකට වෛර කරන තැනැත්තාට ශුද්ධ චේතනාවෙන් දන්දීම දුෂ්කර ය. හේ ඇලුම් කරන පුද්ගලයන්ට ඇල්ම නිසා දෙන්නේ ය. වෛර කරන, පිළිකුල් කරන පුද්ගලයන්ට නො දෙන්නේ ය. ඉෂ්ට වස්තුන්ට ඇලුම් කිරීමත් දීමට බාධාවෙකි.

උපේක්ෂාවක් නැති කෙනකු විසින් ලොවුතුරා බුදු බව පතා අඹු දරුවන් කෙසේ දිය හැකි වේ ද? නො දිය හැකි ම ය. තමන් ඇලුම් කරන කෙනකුට දීමත් තෘෂ්ණාව නිසා කරන්නක් බැවින් පිනක් වුවත් සම්බෝධියට පැමිණ වීමට තරම් ශක්තියක් ඇති පිනක් නො විය හැකිය. ලෝකය, කෙරෙහි මධ්‍යස්ථතාව නැතියකුට උසස් ලෙස සිල් ‍රැකීමත් දුෂ්කර ය. ඇලීම ය, ගැටීම ය යන දෙක සිල් කිලිටි වීමට හා බිඳීමටත් කරුණු වේ. උසස් ලෙස සිල් ‍රැකිය හැකි වීමට සත්ත්ව සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථතාව තිබිය යුතුය. උපේක්ෂාවක් නැති, වස්තුව කෙරෙහි අඹුදරුවන් කෙරෙහි ඇලීම් ඇති තැනැත්තාට ඒවා හැර දැමීම ඒවායින් බැහැරවීම වූ නෛෂ්ක්‍රම්‍ය නො පිරිය හැකි ය. හොඳ නරක දෙක, යුක්ත්‍යායුක්ති දෙක හරියට පෙනීමටත් උපේක්ෂාව තිබිය යුතුය.

පක්ෂයකට ඇලුම් කරන පක්ෂයකට විරුද්ධ වන තැනැත්තාට හොඳ නරක දෙක යුක්ත්‍යායුක්ති දෙක ආවරණය වේ. ඔහුට ඇලුම් කරන තැනැත්තාත්, කරන වැඩත්, ඔහු කියන දෑත් හොඳ සැටියටත්, සත්‍ය සැටියටත්, යුක්තිය සැටියටත් පෙනේ. තමන් වෛර කරන - පිළිකුල් කරන - පහත් කොට සිතන අයත්, ඒ අය කරන කියන දෑත් නරක සේ පෙනේ. ඒ සම්මෝහය ප්‍රඥා පාරමිතාවට බාධාවකි. සත්‍ය දර්ශනය වූ ප්‍රඥාව ඇති වීමට සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථතාව තිබිය යුතු ය. එබැවින් උපේක්ෂාව ප්‍රඥා පාරමිතාවට ද ඉතා උපකාරක ධර්මයක් වේ.

පරෝපකාරය පිණිස දානාදි ක්‍රියා විෂයෙහි කරන වීර්‍ය්‍යය අනුන් ගේ වරදක් දැක අනුන් ගැන කිපුණු කල්හි, කලකිරුණු කල්හි ලිහිල් වේ. ඇලුම් කරන පුද්ගලයන් හා වස්තුන් නිසා ද, සුවයට ඇලුම් කිරීම නිසා ද ලිහිල් වේ. එබැවින් වීර්‍ය්‍ය පාරමිතාව පවත්වා ගෙනයාමට ද උපේක්ෂා පාරමිතාවත් තිබිය යුතුම ය. ක්ෂාන්ති පාරමිතා - උපේක්ෂා පාරමිතා දෙක එකිනෙකට උපකාර, එකිනෙක හා බැඳී පවත්නා පාරමිතා දෙකකි. මධ්‍යස්ථ විය හැකි වීමට ඉවසන ස්වභාවය තිබිය යුතු ය. ඉවසිය හැකි වීමට ද මධ්‍යස්ථ ස්වභාවය තිබිය යුතුය.

මේ පාරමිතා දෙක ඉතිරි පාරමිතා අටට මා පිය දෙදෙනකු සේ උපකාරක ය. පක්ෂයකට ඇලුම් කරන පක්ෂයකට ක්‍රෝධ කරන තැනැත්තාට සත්‍යයෙහි පිහිටීමත් දුෂ්කර ය, අධිෂ්ඨානයෙහි පිහිටීමත් දුෂ්කර ය. පක්ෂයකට ඇලුම් කිරීම හා පක්ෂයකට කිපීම නිසා නොයෙක් විට පොරොන්දු කඩ කිරීම ආදියෙන් සත්‍යයෙන් ද, අධිෂ්ඨානයෙන් ද බැහැර විය හැකි ය. සත්‍යාධිෂ්ඨාන පාරමිතා දෙක මැනවින් පිරිය හැකි වීමටත් උපේක්ෂා පාරමිතාව තිබිය යුතු ම ය.

තමා යමකුට උපකාර කළේ නම් උපකාර ලැබූ තැනැත්තා විසින් තමාට කරන අපරාධය, තද කෝපයට හා තද කලකිරීමට හේතුවකි. මහ බෝසත් මහාකපි රාජයා තමාගේ ජීවිතය ගැන ද නො තකා බොහෝ මහන්සියෙන් ප්‍රපාතයෙහි වැටී හුන් පුරුෂයා ගොඩ ගෙන ඔහු ගේ ජීවිතය ‍රැක දුන්නේ ය. දුෂ්ඨ පුරුෂයා තමා ඔසවා ගෙන ඒමෙන් වූ වෙහෙසීම නිසා මඳක් නිදාගත් බෝසත් තුමා මරා මස් කා සාගින්න නිවා ගන්නට සිතා මහ ගලකින් බෝසත් තුමාගේ හිසට පහර දින. එය ඉවසීම පුරුදු කළ කෙනකුට ද ඉවසිය නො හෙන, දකින - අසන අය පවා කෝප කරවන මහා අපරාධයකි.

එහෙත් මහ බෝසත් මහාකපි රාජයා එය ඉවසී ය. එයත් ආශ්චර්‍ය්‍යයක් නො වේ. ආශ්චර්‍ය්‍යය නම් බෝසත්තුමා නො කලකිරී ඒ දුෂ්ට පුද්ගලයාට නැවතත් උපකාර කිරීම් වශයෙන් තමා ගේ හිසෙන් ගලනා ලේ බින්දුවලින් ම මඟ සලකුණු දක්වමින් ඒ දුෂ්ටයා මිනිස් පියසට යැවීම ය. එබඳු වැඩක් බලවත් උපේක්ෂාවක් නැතියකුට නො කළ හැකි ය. බෝසත් තුමාට එය කළ හැකි වීම උපේක්ෂා පාරමිතාවේ බලය ය.

රජ කෙනකු ගේ දරුවන් දාසත්වයට ඉල්ලීම අසන්නවුන් ගේ පවා සිත් ප්‍රකෝප කරවන කරුණකි. එහෙත් වෙසතුරු රජතුමා තමාගේ දරුවන් ඉල්ලා ආ පූජකයා දෙස මෙත් සිතින් යුක්තව ප්‍රිය චක්ෂූන් බලා දරුවන් ගැන ආලය ද දුරු කොට දරු දෙදෙනා ඔහුට දින. වෙසතුරු රජතුමාට බලවත් උපේක්ෂාවක් නො තිබුණේ නම් ඒ අවස්ථාවෙහි දී සිත් වන්නේ දරුවන් දීමට නොව පහර දී පූජකයා පලවා හැරීමට ය. එසේ නොකොට දරු දෙදෙනා පූජකයාට දී බෝසත් තුමාට දාන පාරමිතාව සම්පූර්ණ කළ හැකි වූයේ උපේක්ෂා පාරමිතාව නිසා ම ය.

උපේක්ෂා පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය

“නෛෂ්ක්‍රම්‍ය - මෛත්‍රී - ක්ෂාන්ති” පාරමිතා තුන උපේක්ෂා පාරමිතාවට විශේෂයෙන් උපකාරක ධර්මයෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය ඇති තැනැත්තාට ලාභාදියට හා උපකාරක පුද්ගලයන්ට ද ඇති වන ඇල්ම දුරු කර ගෙන මධ්‍යස්ථ විය හැකි ය. ක්ෂාන්ති මෛත්‍රී දෙක ඇති කල්හි අපරාධ කරන්නවුන් කෙරෙහි කෝප නො වී මධ්‍යස්ථ විය හැකි ය. එබැවින් නෛෂ්ක්‍රම්‍ය - ක්ෂාන්ති - මෛත්‍රී පාරමිතාවන් සම්පාදනය කිරීමත් සමග උපේක්ෂාව පුරුදු කළ යුතුය.

එය පුරන බෝසත් තුමා විසින් අනුන් ගරු බුහුමන් කරන, උපකාර කරන අවස්ථාවල දී අනුන්ට ගරු බුහුමන් කිරීම උපකාර කිරීම සත්ත්වයන්ගේ එක්තරා ස්වභාවයකැ යි සිතා ඒ අය ගැන මධ්‍යස්ථ විය යුතු ය. අනුන් අවමන් කරන, කරදර කරන, දුක් දෙන අවස්ථා වලදී ද අනුන්ට කරදර කිරීමත් සත්ත්වයන්ගේ එක් ස්වභාවයකැ යි සලකා ඔවුන් ගැන මධ්‍යස්ථ විය යුතු ය.

ආහාරයෙහි රසය ගැන අපේක්ෂා නො කොට එහි ප්‍රයෝජනය පමණක් සලකා වැළඳිය යුතු ය. වස්ත්‍ර හා වාසස්ථාන පිළිබඳව ද එසේ ම පිළිපැදිය යුතු ය. වස්තූන් ලැබෙන කල්හි ද ලැබීමත් එක්තරා ලෝක ස්වභාවයකැ යි එයින් උඩඟු නො වී, ඒවාට ඇලුම් නො කර, ලාභය ගැන මධ්‍යස්ථ විය යුතු ය. තමාගේ වස්තු විනාශ වන කල්හි ද ලෝකයේ අනිත්‍යතාව සලකා අලාභය ගැන මධ්‍යස්ථ විය යුතු ය. ඥාති මිත්‍රාදීන් තමා හා එක් වන කල්හි පිරිස් ඇතිවීමත් ලෝක ස්වභාවයකැ යි සලකා ඒ ගැන අහංකාර නොවී මධ්‍යස්ථ විය යුතුය. තමාට කවුරුවත් නැති වී තනි වූ කල්හි ද සියල්ලෙන් වෙන් වීමත් ලෝක ස්වභාවයකැ යි සිතා දොම්නසට නො පැමිණ මධ්‍යස්ථ විය යුතුය.

නින්දා ලැබෙන කල්හි නින්දා ලැබීමත් එක් ලෝක ස්වභාවයකැ යි සලකා ඒ ගැන දොම්නසට නො පැමිණ මධ්‍යස්ථ විය යුතු ය. ප්‍රශංසා ලැබෙන කල්හි ද ඒ ගැන සොම්නසට නො පැමිණ එයත් එක් ලෝක ස්වභාවයකැ යි සලකා මධ්‍යස්ථ විය යුතු ය. සැප දුක් දෙක ගැන ද එසේ ම පිළි පැදිය යුතු ය. රාගයට හේතු වන ස්ත්‍රී රූපාදිය දක්නා කල්හි ඒවායේ අනිත්‍යතාව හා අශුභ භාවය මෙනෙහි කොට ඒවා ගැන මධ්‍යස්ථ විය යුතුය. ජරපත් වූ ද, භයානක රෝගයන් ගෙන් පෙළෙන්නා වූ ද, පිළිකුල් කළ යුතු පුද්ගලයන් දක්නා කල්හි ද, ලෝක ස්වභාවය මෙනෙහි කොට ඔවුන් පිලිකුල් නො කර මධ්‍යස්ථ විය යුතු ය.

ලෝමහංස චරිතය

උපේක්ෂා පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය වැඩි දුරටත් මේ මහා බෝධිසත්ත්ව චරිතයෙන් තේරුම් ගත හැකි ය. එක් කලෙක මහ බෝසතාණන් වහන්සේ බොහෝ සම්පත් ඇති කුලයක ඉපද, වැඩිවිය පැමිණ දිසාපාමොක් ඇදුරු වරයකු යටතේ වෙසෙමින් සිප් සතර මැනවින් උගෙන, සිය නිවසට පැමිණියහ. මාපියන්ගේ ඇවෑමෙන් උන්වහන්සේට මහා ධනස්කන්ධයක් හිමි විය. ඥාති මිත්‍රයෝ භාර්‍ය්‍යාවක් සරණ කරගෙන බූදලය පාලනය කර ගෙන වෙසෙන ලෙස බෝසතාණන් වහන්සේට කීහ.

එහෙත් බෝසතාණන් වහන්සේ අනිත්‍ය දුඃඛ දර්ශනයෙන් ලෝකය කෙරෙහිත් අශුභත්ව දර්ශනයෙන් ශරීරය කෙරෙහිත් කළකිරුණ සිත් ඇත්තාහු ගිහිගෙයි විසීමෙන් ඇති වන්නා වූ කෙලෙස් ජාලාවට හසු වන්නට නො කැමැති වූවාහු, නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය පෙර‍ටු කොට මහා ධනස්කන්ධය හැර දමා පැවිදි වන්නට සිතා; නැවතත් සිතන සේක්; පැවිදි වුවහොත් මා හට මහජනයා ගරු බුහුමන් පූජා සත්කාර කරන්නට පටන් ගන්නාහ. ඒ ගරු බුහුමන් ලාභ සත්කාර වලින් මට කමක් නැත. මම ලාභාදියෙන් විකාරයට නො පැමිණ විසීමට සමර්ථ වෙමිය. මම පැවිදි නොවීම, අනුන් කරන නින්දා අපහාසාදිය ඉවසීමේ ප්‍රතිපදාව පුරමින් උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කෙරෙමි” යි සිතා, හැඳ සිටි ඇඳුමෙන් ම ගෙයින් නික්ම බොහෝ දෙනාගෙන් නින්දා අපහාසාදි නොයෙක් කරදර ලබමින් සියල්ල ඉවසමින් එක තැනක එක් ‍රැයක් පමණක් වෙසෙමින් ගම් නියම් ගම් රාජධානිවල හැසිරෙන්නට වූහ.

බොහෝ පරිභව ලැබෙන තැන්වල උන්වහන්සේ වඩාත් කල් විසූහ. හැඳි වත දිරා ගිය පසු උන් වහන්සේ අන්‍යයන් දුන් වස්ත්‍ර නො පිළිගත්හ. කුඩා රෙදි කඩකින් විළි වසා ගෙන වාසය කළහ. එසේ හැසිරෙන බෝසතාණන් වහන්සේ එක් නියම් ගමකට පැමිණියහ. එය මඟ යන අහිංසක දුබල අසරණයන්ට ගල් මුල් ගසා පීඩා කොට විනෝදය ලබන අශික්ෂිත නපුරු ළමයින් බොහෝ ඇති ගමෙකි. ඔවුහු ඇතැම් රාජ වල්ලභයින්ගේ දරුවෝ ය. කලින් කල ක්‍රීඩාවෙන් කල් යවන ඒ නො හික්මුණු ගම් දරුවෝ මඟ යන මහලු දුබල ස්ත්‍රී පුරුෂයන් දු‍ටු කල පිටි පසින් ගොස් පිටට අලු විසි කරති. වැටකේ පත් කිසිල්ලට දමා අදිති. එයින් කරදරයට පත් අය ආපසු හැරී බලන කල්හි ඔවුනට නොයෙක් ලෙස කවටකම් කෙරෙති.

එහි පැමිණි බෝසතාණන් වහන්සේ ඔවුන් දැක, “උපේක්ෂා පාරමිතාව පිරීමට හොඳ තැනක් ලදිමි’යි සිතා එහි විසූහ. ඒ ගම් දරුවෝ මහබෝසතාණන් දැක විසුළු පාන්නට සැරසෙති. බෝසතාණෝ ඒවාට නො කැමැත්තෙන් හෝ ඔවුනට බියෙන් හෝ යන්නාක් මෙන් හුන් තැනින් නැඟී යෙති. ගම් දරුවෝ ද විසුළු කරමින් බෝසතු ලුහුබැඳ යෙති. බෝසතාණන් වහන්සේ එක් සොහොනකට ගොස් “මෙහි ඔවුන් නවත්වන්නට, ඔවුනට කිසිවක් කියන්නට කෙනකු නැතය’යි සිතා මිනී ඇටක‍ටු ටිකක් එකතු කොට, කොට්ටයකට තබා ගෙන එහි සැතපෙති. උන්වහන්සේ මිනි ඇට කොට්ටයට ගන්නේ වස්තුවල ඉෂ්ටානිෂ්ට විභාගයක්, පරමෝපේක්ෂාවෙහි පිහිටි උන්වහන්සේට නැති බැවිනි. පවිත්‍ර වූ ද, අපවිත්‍ර වූ ද, සියල්ල ම උන් වහනසේ ඒකත්වයෙන් සැලකූහ.

ගම් දරුවෝ සොහොනෙහි දී බෝසතාණන්ට රිසි සේ විසුළු කෙරෙති. ඇතැමෙක් ගල් මුල් වලින් ගසති. ඇතැමෙක් ඇඟට වැලි විසි කරති. ඇතැමෙක් ඇඟට කෙළ ගසති. ඇතැමෙක් කෝ‍ටුවලින් අනිති. ඇතැමෙක් කන් නාස් සිදුරු වල ඉරටා ගසති. මෙසේ ඔවුහු දිනපතා බෝසතාණන් වහන්සේට කරදර කරති. බෝසතාණන් වහන්සේ ඔවුන් කෙරෙහි මඳකුදු කෝප නො වෙති. නුවණැති මනුෂ්‍යයෝ බෝසතාණන්ට කරදර කිරීම වළක්වා “මෙ පමණ කරදර කරද්දී නො කිපෙන කරුණා මෛත්‍රියෙන් ඉවසීමෙන් වෙසෙන මෙතුමා සාමාන්‍ය පුද්ගලයකු නොවිය හැකි ය. මෙතුමා මහානුභාව සම්පන්න තවුසෙක, මහා යෝගියෙකැ’යි බෝසතාණන් වහන්සේට බොහෝ සත්කාර සම්මාන කරති. ඇතැම්හු “මෙතුමා වරද කරන්නවුන්ට නම් නො කිපෙන්නේය. සත්කාර කරන්නවුන්ට කුමක් කෙරේ දැ’යි විමසිය යුතුය යි සිතා විමසනු පිණිස උන් වහන්සේට සත්කාර කරති. බෝසතාණන් වහන්සේ තමන් වහන්සේට කෙළ ගැසීම් ආදියෙන් අවමන් කරන්නවුන් කෙරෙහි කෝපයකුත්, සත්කාර කරන්නවුන් කෙරෙහි ඇලීමකුත් නැතිව සැම දෙනා කෙරෙහි ම සාමාන්‍ය සිතින් විසූහ. ලාභාලාභ යසායස නින්දාප්‍රශංසා සුඛදුඃඛ යන අෂ්ටලෝක ධර්මයන් නිසා සැලීමක් නැතිව සම සිතින් විසූහ. උන් වහන්සේ ලොවුතුරා බුදු බවට පැමිණි පසු ඒ බව මෙසේ වදාළ සේක.

“සුසානෙ සෙය්‍යං කප්පෙමි ඡවට්ඨිං උපධාය ’හං

ගොමණ්ඩලා උපාගන්ත්වා රූපං දස්සෙන්ති නප්පකං

-

අපරෙ ගන්ධඤ්ච භොජනං විවිධං බහුං

උපායනානි උපනෙන්ති භට්ඨා සංවිග්ගමානසා

-

යෙ මෙ දුක්ඛං උපදහන්ති යෙ ච දෙන්ති සුඛං මම

සබ්බෙසං සමකො හොමි දයා කොපො න විජ්ජති

-

සුඛ දුක්ඛෙ තුලාභූතො යසෙසු අයසෙසු ච

සබ්බත්ථ සමකො හොමි එසා මෙ උපෙක්ඛා පාරමී”

මෙහි බෝධිසත්වයන් වහන්සේ ගේ ‘කැමති කෙනෙක් ගනිත්වා යි සකල ධන සම්භාර පරිත්‍යාග කිරීම හා මේ ශරීරය ගෙන කැමති කෙනෙක් කැමති දෙයක් කර ගනිත්වා යි තමන් ගේ ආත්ම භාවය පරිත්‍යාග කිරීම දාන පාරමිතාව ය. නො කළ යුතු සියල්ලෙන් වෙන් වීම ශීල පාරමිතාව ය. වස්තු හැර ගිහි ගෙයින් බැහැර වීම හා ශරීරය කෙරෙහි අශුභ සංඥාව වැඩීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතා ය. බෝධි සම්භාරයන්ට උපකාරක ධර්ම සොයා ගැනීමෙහි හා බෝධි සම්භාරයන්ට ප්‍රතිපක්ෂ ධර්ම ප්‍රහාණය කිරීමෙහි ද දක්ෂතාව හා ධර්මයන් ගේ ස්වභාව විමසීම ද ප්‍රඥා පාරමිතාව ය. කාම විතර්කාදිය දුරු කිරීමෙහි වීර්‍ය්‍යය, වීර්‍ය්‍ය පාරමිතාවය. සාපිපාසාදි දුක් හා පරාපරාධ ඉවසීම ක්ෂාන්ති පාරමිතාව ය. සත්‍යයෙහි පිහිටීම සත්‍ය පාරමිතාව ය. විශේෂයක් නැතිව සලකා සත්ත්වයන් කෙරෙහි මෙත් සිත පැවැත්වීම මෛත්‍රී පාරමිතාව ය. මේ ජාතිය මහබෝසතාණන් වහන්සේ විශේෂයෙන් උපේක්ෂා පාරමිතාව පිරූ ජාතියකි. එය කථාවෙහි දැක්වුණු පරිදි දත යුතු ය.

උපේක්ෂා පාරමිතාවේ ප්‍රභේද

තමන්ගේ ධනය ගැනත්, දූදරු ආදීන් ගැනත්, ධනයට හා දූදරු ආදීන්ට හිතාහිත පුද්ගලයන් ගැනත් මධ්‍යස්ථතාව උපේක්ෂා පාරමිතාව ය.

තමන්ගේ ශරීරාවයවයන්ට හානි කරන්නා වූ ද ඒවා ‍රැක ගැනීමට උපකාර කරන්නා වූ සැම දෙනා කෙරෙහි මධ්‍යස්ථතාව උපේක්ෂා උප පාරමිතාව ය.

තමන්ගේ ජීවිතයට හානි කරන්නා වූ ද, දිවි ‍රැක ගැනීමට උපකාර කරන්නා වූ ද සැම දෙනා කෙරෙහි ඒකත්වය උපේක්ෂා පරමාර්ථ පාරමිතාව ය.

පාරමිතා

පාරමිතා සමතිසක් කොට දැක්වීමේ හේතුව

පාරමිතාය, උප පාරමිතාය, පරමාර්ථ පාරමිතාය යි එක් එක් පාරමිතාවක් තුන් තුන් ආකාරයකට දක්වන්නේ මහා බෝධියය, ප්‍රත්‍යේක බෝධියය, ශ්‍රාවක බෝධියය යන බෝධිත්‍රයා ගේ වශයෙනි. මහා බෝධිසත්ත්වයන් විසින් පාරමිතා දශය ය, උප පාරමිතා දශය ය, පරමාර්ථ පාරමිතා දශය ය යන පාරමිතා තිසම පිරිය යුතු ය. ප්‍රත්‍යේක බෝධි සත්ත්වයන්ට පාරමිතා, උපපාරමිතා දෙ කොටස සම්පූර්ණ කිරීම ප්‍රමාණය. පරමාර්ථ පාරමිතා නො පිරුයේ ද ප්‍රත්‍යේක බෝධියට පැමිණිය හැකි ය. ශ්‍රාවක බෝධි සත්ත්වයනට පාරමිතා පිරීමත් ප්‍රමාණ ය. උපපාරමිතා පරමාර්ථ පාරමිතා නො පුරා ශ්‍රාවක බෝධියට පැමිණිය හැකි ය.

පාරමිතා - උපපාරමිතා - පරමාර්ථ පාරමිතා විභාගය මෙහි දක්වා ඇත්තේ බොහෝ ආචාර්‍ය්‍යවරයන් පිළිගන්නා වූ උගන්වන්නා වූ ක්‍රමයට ය. එයට බොහෝ වෙනස් ආකාරවලින් ද පාරමිතා - උපපාරමිතා - පරමාර්ථ පාරමිතා විභාගය කෙරෙති. ඒ සියල්ල දැක්වීමෙන් වඩා ප්‍රයෝජනයක් නො මැති නිසා මෙහි නො දක්වන ලදී. දනු කැමැත්තෝ චරියාපිටක අ‍ටුවා ආදියෙන් බලා ගනිත්වා!

පාරමිතාවන් ගේ ලක්ෂණාදිය

තේරුම් ගැනීමට අපහසු ධර්ම නිරවුල් පරිදි තේරුම් ගත හැකි වීමට පූරවාචාර්‍ය්‍යවරයෝ ඒ ධර්මයන්ගේ ලක්ෂණය, රසය, ප්‍රත්‍යුපස්ථානය, පදස්ථානය යන කරුණු සතර දැක්වූහ.

තං තං සභාවො ලක්ඛණං කිච්චසම්පත්තියෝ රසො

ගය්හාකරො ඵලං වා පි - පච්චුපට්ඨාන සඤ්ඤිතං

ආසන්නකාරණං යං තං - පදට්ඨානන්ති තං මතං

යනුවෙන් දැක්වෙන පරිදි ධර්මවලට අයත් වූ ඒ ඒ ස්වභාවය ලක්ෂණ වේ. ඒ ඒ ධර්මවලින් සිදුවන සිදුකරන කෘත්‍ය හෝ ධර්මයන්හි ඇතිගුණ විශේෂ හෝ රස නම් වේ. ධර්මයන්ගේ රසය දැක්වීමේදී කෘත්‍යය ප්‍රකට ධර්මයන්ගේ රසය වශයෙන් කෘත්‍යය දක්වනු ලැබේ. කෘත්‍යය අප්‍රකට යම්කිසි ගුණ විශේෂයක් ප්‍රකට ධර්මයන් ගේ රසය වශයෙන් ඒ ගුණ විශේෂය දක්වනු ලැබේ. බොහෝ සෙයින් රසය වශයෙන් දක්වා ඇත්තේ ධර්මවල කෘත්‍යය ය. ප්‍රත්‍යුපස්ථාන යනු වැටහෙන ආකාරය ය. ධර්මයන්ගේ තතු විමසන තැනැත්තාට මේ මෙය යයි අනික් ධර්මයන් ගෙන් වෙන් කොට සිතින් ගත හැකි ආකාර ධර්මයන්හි ඇත්තේ ය. ප්‍රත්‍යුපස්ථානය ය, වැටහෙන ආකාරයයයි කියනුයේ එයට ය. එබඳු ආකාර විශේෂයක් දැක්වීම දුෂ්කර ධර්මයන්ගේ පදස්ථානය වශයෙන් ඒ ධර්මය නිසා ඇති වන ඵලය දක්වනු ලැබේ. පදස්ථාන යනු ආසන්න කාරණය ය. එක් එක් ධර්මයක් ඇති වන්නේ එක හේතුවකින් නොව හේතු බොහෝ ගණනකිනි. ඒ හේතූන් ගෙන් ඇතැමෙක් දුරින් උපකාරක වෙති. ඇතැමෙක් ලඟින් උපකාරක වෙති. ආසන්න කාරණය යනු ලඟින් උපකාර වන ධර්මය ය. පාරමිතා ධර්ම නිරවුල් ලෙස තේරුම් ගත හැකි වනු පිණිස චරියාපිටක අ‍ටුවා ආදියෙහි ඒවායේ ලක්ෂණාදිය මෙසේ දක්වා තිබේ.

පරිච්චාග ලක්ඛණා දානපාරමී, දෙය්‍යධම්ම ලොභ විද්ධංසන රසා, අනාසත්ති පච්චුපට්ඨානා, පරිච්චජිතබ්බවත්ථු පදට්ඨානා, භවසම්පත්ති පච්චුපට්ඨානා වා.

දාන පාරමිතාවේ ලක්ෂණය තමා අයත් වස්තුව දීමය. එහි කෘත්‍යය ලෝභය නැති කිරීම ය. වැටහෙන ආකාරය වස්තුවෙහි නො ඇලෙන බව ය. ආසන්න කාරණය දෙන වස්තුව ය.

සීලන ලක්ඛණා සීල පාරමී, දුස්සීල්‍ය විද්ධංසන රසා, අනවජ්ජ රසා වා, සොචෙස්‍ය පච්චුපට්ඨානා, හිරොත්තප්ප පදට්ඨානා.

ශීල පාරමිතාවේ ලක්ෂණය කය වචන දෙක පාපයෙහි නො යොදවා මනාකොට තැබීම ය. එහි කෘත්‍යය දුසිල් බව නැති කිරීම ය, වැටහෙන ආකාරය පිරිසිදු බවය, ආසන්න කාරණය හිරි ඔතප් දෙක ය.

කාමතො ච භවතො ච නික්ඛමණ ලක්ඛණා නෙකඛම්ම පාරමී, තදාදීනව විභාවන රසා, තතො එව විමුඛභාව පච්චුපට්ඨානා, සංවෙග පදට්ඨානා.

නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ ලක්ෂණය කාමයන් කෙරෙන් හා භවය කෙරෙන් නික්මීමය, රසය කාමයන් ගේ හා භවයා ගේ ආදීනවය ප්‍රකට කිරීම ය, ප්‍රත්‍යුපස්ථානය තෘෂ්ණාවෙන් කාම භවයන් දෙස නො බැලීම ය, ආසන්න කාරණය සංවේගය ය.

යථාසභාව පටිවෙධ ලක්ඛණා පඤ්ඤා පාරමී, විසයොභාසන රසා, අසම්මොහ පච්චුපට්ඨානා, සමාධි පදට්ඨානා.

ප්‍රඥා පාරමිතාවේ ලක්ෂණය ඒ ඒ දෙයෙහි සැබෑ සැටිය දැකීම ය. රසය දත යුත්ත ආලෝකවත් කිරීම ය, ප්‍රථ්‍යුපස්ථානය නො මුලා වන බව ය. ආසන්න කාරණය සමාධිය ය.

උස්සහන ලක්ඛණා විරිය පාරමී, උපත්ථම්භන රසා, අසංසීදන පච්චුපට්ඨානා, විරියාරම්භවත්ථු පදට්ඨානා, සංවේග පදට්ඨානා වා.

වීර්‍ය්‍ය පාරමිතාවේ ලක්ෂණය උත්සාහය ය, රසය උපස්ථම්භනය ය, ප්‍රත්‍යුපස්ථානය නො හැකිලෙන නො පසු බස්නා බව ය. ආසන්න කාරණය වීර්‍ය්‍යාරම්භ වස්තු හෝ සංවේගය ය.

බමන ලක්ඛණා ඛන්ති පාරමී, ඉට්ඨානිට්ඨ සහන රසා, අධිවාසන පච්චුපට්ඨානා, අවිරොධ පච්චුපට්ඨානා වා යථාභූතදස්සන පදට්ඨානා.

ක්ෂාන්ති පාරමිතාවේ ලක්ෂණය ඉවසීම ය. රසය ඉෂ්ටානිෂ්ට දෙකින් වෙනස් නොවී සමානව පැවතිය හැකි බවය. ප්‍රත්‍යුපස්ථානය අනුන් කරන අපරාධ ඉවසිය හැකි බව හෝ අනුන්ට විරුද්ධ නො වන බව ය. ආසන්න කාරණය ධර්ම ස්වභාවය ඇති සැටියට දක්නා බව ය.

අවිසංවාදන ලක්ඛණා සච්ච පාරමී, යථාසභාව විභාවන රසා, සාදුතා පච්චුපට්ඨානා, සොරච්ච පදට්ඨානා.

සත්‍ය පාරමිතාවේ ලක්ෂණය කාරණය අනුන්ට නො වැරද වීම ය. රසය ඇති සැටි ප්‍රකට කිරීම ය. ප්‍රත්‍යුපස්ථානය වචනවල යහපත් බව ය. ආසන්න කාරණය වරද නො කරන බව ය.

බොධිසම්භාරෙසු අධිට්ඨාන ලක්ඛණා අධිට්ඨාන පාරමී, තෙසං පටිපක්ඛාභිභවන රසා, තත්ථ අචලතා පච්චුපට්ඨානා, බෝධිසම්භාර පදට්ඨානා.

අධිෂ්ඨාන පාරමිතාවේ ලක්ෂණය බෝධිසම්භාරයන්හි නො සැලී පිහිටී ම ය. රසය බෝධි සම්භාරයන්ට ප්‍රතිපක්ෂ ධර්ම අභීභවනය කිරීම ය. ප්‍රත්‍යුපස්ථානය බෝධි සම්භාරයන්හි නො සැලෙන බව ය. ආසන්න කාරණය බෝධිසම්භාර ධර්මයෝ ය.

හිතාකාරප්පවත්ති ලක්ඛණා මෙත්තා පාරමී, හිතුපසංහාර රසා, ආඝාතවිනයන රසා වා, සොම්මභාව පච්චුපට්ඨානා, සත්තානං මනාපභාවදස්සන පදට්ඨානා.

මෛත්‍රී පාරමිතාවේ ලක්ෂණය සත්ත්වයනට උපකාරී භාවයෙන් පැවැත්මය. රසය අන්‍යයන්ට යහපත එළවීම හෝ වෛරය දුරු කිරීම ය. ප්‍රත්‍යුපස්ථානය සෞම්‍ය භාවය ය. ආසන්න කාරණය සත්ත්වයන් ගේ මනාප භාවය දැකීම ය.

මජ්ඣත්තාකාර පවත්ති ලක්ඛණා උපෙක්ඛා පාරමී, තදාදීනව විභාවන රසා, තතො එව විමුඛ භාව පච්චුපට්ඨානා, සංවෙග පදට්ඨානා.

උපේක්ෂා පාරමිතාවේ ලක්ෂණය මධ්‍යස්ථාකාරයෙන් පැවැත්ම ය. රසය හිතාහිත සත්ත්වයන් හා ඉෂ්ටානිෂ්ට වස්තූන් සම සේ සැලකීම ය. ප්‍රත්‍යුපස්ථානය කෝපය හා ඇලීම සංසිඳීමය, ආසන්න කාරණය කර්මය සත්ත්වයනට අයත් බව මෙනෙහි කිරීම ය.

පාරමිතා සංක්ලේශය

වැස්සට පින්නට අව්වට සුළඟට අසුවීමෙන් ඇතැම් වස්තූන් දුබල වී දුර්වර්ණ වී ඒවායේ අගය අඩු වී යන්නාක් මෙන්, ඇතැම් කරුණුවලින් පාරමිතා කුශලය ද දුබල වේ. ඒ දුබල වීමට ‘පාරමිතා සංක්ලේශය’ යි කියනු ලැබේ. චාරියාපිටක අ‍ටුවාවෙහි දැක්වෙන පරිදි පාරමී සංක්ලේශය මෙසේ දත යුතු.

“අවිසෙසෙන තණ්හාදීහි පරාමට්ඨාභාවො පාරමීනං සංකිලෙසො” සාමාන්‍යයෙන් තෘෂ්ණාදි ක්ලේශයන් විසින් ගන්නා ලද බව සකල පාරමිතා කුශලයන්ගේ ම සංක්ලේශය ය. පින් කිරීමට පෙරාතුව හෝ කරන අවස්ථාවෙහි හෝ කළ පසු හෝ මේ පින්වලින් මම භවභෝග සම්පත් ලබමි ය, ප්‍රශංසා ලබමිය, කීර්තිමත් වෙමි ය, ගරු බුහුමන් ලබමි ය, අන්‍යයන් යටත් කරමි ය යනාදි අදහස් පින සම්බන්ධයෙන් ඇතිවීම පින තෘෂ්ණාදීන් විසින් ගැනීම ය. එයින් පින දුබල වේ. තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද පින ඒ සංක්ලේශය නිසා සර්වාකාරයෙන් නිෂ්ඵල වෙතැයි නො ගත යුතු ය. ඒ පින්වලින් ද ඵල ලැබෙන්නේය. වෙනස දීප්තිමත් ඵල නො ලැබී යාම ය.

“දෙය්‍යධම්ම පටිග්ගාහක විකප්පා දානපාරමියා සංකිලෙසො” “මේ මේ දෙය දෙමි ය, මේ මේ දෙය නො දෙමිය” යි දිය යුතු වස්තු පිළිබඳව ද, මේ මේ අයට දෙමිය, මේ මේ අයට නො දෙමිය යි පුද්ගලයන් ගැන ද, විශේෂ කල්පනා කිරීම දානපාරමිතාවේ සංක්ලේශය ය.

“සත්තකාලවිකප්පා සීල පාරමියා (සංකිලෙසො)” අසවල් අසවල් සත්ත්වයන් මරවමිය, අසවල් අසවල් සත්ත්වයන් නො මරවමි ය, අසවල් කාලයේ මරමි ය, අසවල් කාලයේ මැරීමෙන් වැළකෙමි ය යනාදීන් සත්ත්වයන් පිළිබඳ වූ ද, කාලයන් පිළිබඳ වූ ද, වස්තූන් පිළිබඳ වූ ද විශේෂ කල්පනාව ශීල පාරමිතාවේ සංක්ලේශ ය.

“කාමභව තදුපසමෙසු අභිරති අනභිරති විකප්පා නෙක්ඛම්ම පාරමියා සංකිලෙසො” අසවල් අසවල් කාම වස්තු පරිභෝග කළ යුතු ය. සොයා ගත යුතු ය. තබා ගත යුතු ය, අසවල් අසවල් කාම වස්තු පරිභෝග නො කළ යුතු ය., හළ යුතු ය: අසවල් අසවල් භවයන්ට පැමිණිය යුතුය, අසවල් අසවල් භව හළ යුතු යයි කාම වස්තූන් හා භවයන් ගැනීම හා බැහැර කිරීම පිළිබඳ විශේෂ කල්පනාව නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ සංක්ලේශය ය.

“අහං මමාති විකප්පා පඤ්ඤා පාරමියා සංකිලෙසෝ” මමය, අනෙකාය, මාගේය, අනෙකාගේය යනාදීන් විශේෂ කල්පනා කිරීම ප්‍රඥා පාරමිතාවේ සංක්ලේශය ය.

“ලීනුද්ධච්ච විකප්පා වීරිය පාරමියා (සංකිලෙසො)” මෙය තේරුම් ගැනීමට දුෂ්කර පාඨයෙකි. සංක්ලේශය පිළිබඳව පළමු පාරමිතා ගැන කී කරුණු අනුව සලකත හොත් මෙයට වීර්‍ය්‍ය කළ යුතු ය, මෙයට වීර්‍ය්‍ය නො කළ යුතු ය, මෙය ඉක්මනින් කළ යුතු ය. මෙය සෙමින් කළ යුතු ය, මේ අවස්ථාවේ දී වීර්‍ය්‍ය කළ යුතු ය, මේ අවස්ථාවේ දී වීර්‍ය්‍ය නො කළ යුතු ය යනාදීන් වීර්‍ය්‍යය හා පසුබැසීම පිළිබඳව විශේෂ කල්පනාව වීර්‍ය්‍ය පාරමිතාවේ සංක්ලේශය ය.

“අත්තපර විකප්පා ඛන්ති පාරමියා (සංකිලෙසො)” මොහු අපේ පවුලේ කෙනෙක, නෑ කෙනෙක, ගමේ කෙනෙක, ජාතියේ කෙනෙක, ඒ නිසා මොහු ගේ වරද ඉවසිය යුතු ය, තම තමන් ගේ අය ගැන ඉවසුවත් සැම දෙනා ම කරන අපරාධ ඉවසිය හැකි ද යනාදීන් තමාගේ ය - අනුන්ගේ ය යන විශේෂ කල්පනාව ක්ෂාන්ති පාරමිතා සංක්ලේශය ය.

“අදිට්ඨාදීසු දිට්ඨාදි විකප්පා සච්චපාරමියා (සංකිලෙසො)” නො දක්නා ලද්ද දක්නා ලද්දේ ය., නො අසන ලද්ද අසන ලද්දේ ය, නො කියන ලද්ද කියන ලද්දේ ය, යනාදීන් කල්පනා කිරීම සත්‍ය පාරමිතාවේ සංක්ලේශය ය. සත්‍ය කීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් තමාට හෝ අන්‍යයන්ට හෝ හානියක් වන තන්හි අසත්‍යය වුව ද කිය යුතු ය; පොරොන්දු කඩ කළ යුතුය; අසත්‍යය වුවද එයින් වැඩක් සිදු වතොත් කීම නිවරදය යනාදි විශේෂ කල්පනාව සත්‍ය පාරමිතාවේ සංක්ලේශය සැටියට ගැනීම ද වරද නැතැයි සිතමු.

“බොධිසම්භාර තබ්බිපක්ඛෙසු දොස ගුණ විකප්පා අධිට්ඨනපාරමියා (සංකිලෙසො)” බෝධි සම්භාරයන් ගේ නුගුණ හා බෝධි සම්භාරයන්ට විපක්ෂ ධර්මයන් ගේ ගුණ ද කල්පනා කිරීම අධිෂ්ඨාන පාරමිතාවේ සංක්ලේශය ය.

“හිතාහිත විකප්පා මෙත්තා පාරමියා (සංකිලෙසො)” මොවුහු තමාට හිත සත්ත්වයෝ ය. මොවුහු අහිත සත්ත්වයෝ යයි මෙත් සිත පැවැත්වීම පිළිබඳව සත්ත්වයන් වෙන් කොට සැලකීම මෛත්‍රී පාරමිතාවේ සංක්ලේශය ය.

“ඉට්ඨානිට්ඨ විකප්පා උපෙක්ඛාපාරමියා (සංකිලෙසො)” ඉෂ්ටානිෂ්ටයන් ගැන විශේෂ කල්පනාව උපේක්ෂා පාරමිතාවේ සංක්ලේශය ය.

පාරමිතා ව්‍යවදානය

පාරමිතා ව්‍යවදානය යනු පාරමිතාවන්ගේ පිරිසිදු බව ය. තවත් ක්‍රමයකින් කියත හොත් බාධාවක් නැතිව සම්බෝධියට පැමිණවීමේ ශක්තියෙන් යුක්ත වන බව ය. පාරමිතා කුශලය දුබල කරන තණ්හා - මාන - දිට්ඨි - ක්‍රෝධ - උපනාහ - මක්ඛ - පලාස - ඉස්සා - මච්ඡිරිය - මායා - සාඨෙයය - ථම්භ - සාරම්භ - මද - පමාද යනාදි ක්ලේශයන් විසින් දුබල නො කරන ලද බව හා ඉහත දැක්වුණු විශේෂ කල්පනාවලින් මිදුණ බව පාරමිතා කුශලයා ගේ ව්‍යවදානය ය.

අනුශාසනා ගාථා

1. කොස්සජ්ජං භයතො දිස්වා විරියාරම්භඤ්ච ඛෙමතො ආරද්ධවිරියා හොථ එසා බුද්ධානුසාසනී.

-

2. විවාදං භයතො දිස්වා අවිවාදඤ්ච ඛෙමතො,

සමග්ගා සඛීලා හොථ එසා බුද්ධානුසාසනී.

-

3. පමාදං භයතො දිස්වා අප්පමාදඤ්ච ඛෙමතො,

භාවෙථ’ට්ඨංගිකං මග්ගං එසා බුද්ධානු සාසනී.

(චරියා පිටක)

තේරුම:

1. සකල ක්ලේශයන්ට මුල් වන බැවින් හා සකලානර්ථයන් ඇති කරන අලස බව භයක් වශයෙන් දැක, වීර්‍ය්‍යය උපද්‍රව නැති කරන ධර්මයක් වශයෙන් දැක, පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තාහු වව්. මෙය බුදුවරයන්ගේ අනුශාසනය ය.

2. විවාදය (ඔවුනොවුන්ට විරුද්ධ කථාව) භයක් වශයෙන් දැක: අවිවාදය හෙවත් මෛත්‍රී වාක් කර්මය උපද්‍රව නැති කරන දෙයක් වශයෙන් දැක, සමගි වව්. මොලොක් සිත් ඇතියෝ වව්. මෙය බුදුවරයන්ගේ අනුශාසනය ය.

3. ප්‍රමාදය භය වශයෙන් දැක, අප්‍රමාදය ආරක්ෂාවක් වශයෙන් දැක, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩව්. මෙය බුදුවරයන් ගේ අනුශාසනය ය.

මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිර පාදයන් වහන්සේ විසින් සම්පාදිත පාරමිතා ප්‍ර‍කරණය නිමි.