කෙලෙස්

එක්දහස් පන්සියය

 

පටුන වෙත

 

රේරුකානේ චන්දවිමල මහනාහිමි

 

කෙලෙස්

එක්දහස් පන්සියය

(නව වන මුද්‍ර‍ණය)

 

මහාචාර්ය

රේරුකානේ චන්දවිමල

(සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද,

අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී)

මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින්

සම්පාදිතයි.

 

 

 

ලේකම්ගේ සටහන් ......

කෙලෙස් එක්දහස් පන්සියය

අපෙන් සිදු වන පව් බොහොමයක් කරන-කියන පව්කම්වලට වඩා හිතන-පතන පව්ය. හිත ගැනත් හිතෙහි ඇති වන සිතුවිලිවල විවිධාකාර ස්වරූප ගැනත් අප නොදන්නා තරමට මේ පව්වල ප්‍ර‍මාණය ද වැඩිවිය හැකිය. ලෝභ දෝස මෝහ යන අකුසල් මුල් තුන පදනම් කරගෙන පාපකාරී චෛතසික කීපයක් විවිධ ආකාරවලින් මත වී එන හැටි තේරුම් ගැනීමට මේ පොත උපකාරී වෙයි.

එකම වස්තුවක් එක් එක් පැත්තෙන් සිට බලන විට එහි පෙනීම වනෙස් ය. එකම වස්තුවක් දෙස එක තැනක සිට පුද්ගලයන් දෙදෙනකු බලන විට ද වෙස් පෙනීමක් ඇතිවිය හැකි ය. එසේ ම එක් එක් ස්ථානය අනුව, අවස්ථාව අනුව හා පුද්ගලයා අනුව එකම සිතිවිල්ලක ස්වරූයේ ද නොයෙක් වෙනස්කම් ඇතිවිය හැකි ය. කෙලෙස් එක්දහස් පන්සියයක් වශයෙන් ගණන් බලන්නට හැකිව ඇත්තේ එම විවිධාකාරය නිසා ය. මේ තත්ත්වය යම්තම් මතුපිටින් හෝ තේරුම් ගන්නට අප සමත් වේ නම් ලෝකයේ නො ගැලී- නො ගැටී ජීවත් වීමට එයම ප්‍ර‍මාණවත් වේ.

හික්මුණු (සමාහිත) සිතක් ඇතිකර ගැනීමට සිත පිළිබඳ මේ ඉගෙනීම ප්‍රයෝජනවත් වෙයි. විදසුන් මගට පිවිසීමට එය දොරටුවක් වෙයි. ධර්‍මදානය ඉතා උසස් වන්නේ පුද්ගලයාටත්, සමාජයටත් විමුක්තිය උදාකර ගැනීමට අණට වඩා බණ අවබෝධයට තැන දෙන නිසා ය. අණ නොතකා යන්නට බොහෝ දෙනකු උත්සාහ කරතත් බණ දැනගතහොත් එවැනි පව් නො කරන බව පැහැදිලිය.

2500 බුද්ධ ජයන්තිය වන විට බෞද්ධයන් තුළ තිබූ දුර්වල ආගමික දැනුම පොහොසත් කිරීම අරමුණු කර ගෙන ඇරඹුණු රේරුකානේ චන්දවිමල මහානාහිමි පාණන්ගේ සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තක වැඩපිළිවෙල එකල වැඩවිසූ සමහර භික්‍ෂූන් වහන්සේලාගේ හා විවිධ උගතුන්ගේ විවේචන ජයගනිමින් දීර්ඝ මාවතක ගමන් කළ බව ඔබ දනී. මේ පොත් නිසා බුද්ධ විනය පිළිබඳවත්, භාවනා කිරීම පිළිබඳවත් ගිහියන් දැනුවත් කළවුන්ට පහසුවක් වූ බව පෙනේ. ගිහියන්ට නිවැරදි බෞද්ධයන් ලෙස සාර්ථක ගිහි ජීවිතයක් ගත කිරීමට මේ පොත් නිසා ලැබුණු අනුබලය විශේෂයෙන් අගය කළ යුත්තකි.

මුද්‍ර‍ණ තාක්ෂණයේ නව ශිල්ප ක්‍ර‍ම, පාඨක රුචිය ඇති කරන ආකෘතිමය අවශ්‍යතා, සේවක වැටුප්, වෙළඳ නියෝජිතයන් ආකර්ෂණය කර ගැනීම වැනි අභියෝග රැසක් ඉදිරියේ මේ පොත්වලින් වන සේවය නොකඩවා ලබා දෙන්නට ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්‍ෂණ මණ්ඩලය කටයුතු කරයි. ඒ අභියෝග ඉදිරියේ නොසැලී සිටීම සඳහා සැදැහැවතුන් දෙන අනුබලය මහත් පිටුවහලකි. තම තමනට ඒ ඒ අවස්ථාවල හැකි ඉහළ මුදල් ප්‍ර‍මාණවලින් උදව් දෙමින් සැදැහැවත් අනුග්‍රාහක භවතුන් දක්වන සහයෝගය අප ලද භාග්‍යයකි.

මෙහි අනුක්‍ර‍මණිකාව ලියූ පරලෝසැප්ත හර්බට් පතිරණ මහතාණන් ද, මඳ ඉසුඹුවක් පවා නොගෙන අවසන් වන පොතෙන් පොත මුද්‍රණය කරන්නට මා මෙහෙයවන ගරු සභාපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද සමිඳුන් ද, කලින් මුද්‍ර‍ණ වාරයකදී සැදැහැබරව සෝදුපත් සැසඳූ ප්‍ර‍ජා පොල්පිටිය, දයාවතී අබේසිංහ මහත්මීන් ද, කලට වේලාවට මනා ලෙස මුද්‍ර‍ණ කටයුතු කළ සිකුරු පොත් ප්‍ර‍කාශක ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ඇතුළු කාර්‍ය්‍ය මණ්ඩලය ද සංශෝධිත පරිඝණක සටහන් යෙදූ හොරණ රූ-මායා ග්‍රැෆික්ස් හි සාලිය ජයකොඩි යුවල ද දයාවෙන් සිහිපත් කරමි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි

ගරු ලේකම්

ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක

සංරක්ෂණ මණ්ඩලය

2008 නොවැම්බර් 12 වන දින,

පොකුණුවිටදී ය.

 

ප්‍ර‍ස්තාවනා

ස්මරණශක්තිය ඥානශක්තිය ඉන්ද්‍රියශක්තිය ශරීරශක්තිය යන මේවා වයස් ගත වීමෙන් පිරිහෙන්නේ ය. ඒ ශක්තීන් පිරිහුණු මහුල අයට පොත් ලිවීම අපහසු ය. අමාරුවෙන් ලියුව ද ඒවායේ ද දුබල බව සිටින්නේ ය. අපි ද දැන් මහලු වියෙහි සිටින්නෙමු. දැන් අපගේ ශක්තිය බොහෝ හීන ය. එබැවින් පොත ලිවීම නවත්වා විවේකීව කල් යැවීම ආරම්භ කෙළෙමු. එහෙත් අපගේ පොත් කියවීමෙන් සතුටට පත්, අප වෙත පැමිණෙන අපට මුණ ගැසෙන බොහෝ ගිහි පැවිදි පින්වත්හු පොත් ගැන ම කථා කළහ. බොහෝ දෙනා අලුත් පොත් ගැන විමසූහ. ඇතැම්හු දැනට ලියන පොත කුමක්දැ යි ඇසූහ. ඇතැම්හු අලුත් අලුත් පොත් නැත්තේ ඇයි ද? දැන් පොත් නො ලියන්නේ ඇයිදැ යි ඇසූහ. ඇතැම්හු අලුත් පොත් ලිවීම සඳහා නොයෙක් මාතෘකා ඉදිරිපත් කළහ. ඇතැම්හු තවත් පොත් ලියන ලෙස ඇරයුම් කළහ. ඇතැම්හු අපගේ පොත් කලක් නො නැසී පවතිනු පිණිස තල්පත්වල හෝ තඹපත්වල ලියා තැබීමට ද යෝජනා කළහ. මේ කරුණු අනුව අප විසින් සම්පාදනය කරන දහම් පොත් කියවීමට ආශාව ඇති විශාල පිරිසක් ඇති බව පෙනී ගියෙන් නැවතත් පොතක් ලිවීමේ අදහස අපට ඇති විය.

කෙලෙස් එක් දහස් පන්සියය යනු නොයෙක් විට ධර්මකථිකයන් වහන්සේලාගේ මුවින් නිකුත් වන වන බෞද්ධයන්ට නිතර ඇසෙන වචනයෙකි. එහෙත් කෙලෙස් එක්දහස් පන්සියය දන්නවුන් දුලබ නිසා එය වචනමාත්‍ර‍යක් වී ඇති බැවින් (කෙලෙස් එක්දහස් පන්සියය) ඒ ගැන පොතක් කවරකු විසින් හෝ ලියුව හොත් මැනව යන අදහස අප තුළ බොහෝ කලක පටන් පැවතිණ. කෙලෙස් ගිනි දල්වන කෙලෙස් වඩන පොත් කොතෙකුත් බිහිවුණා මිස, කෙලෙස් ගිනි නිවීමට උපකාර වන පරිදි කෙලෙස් එක්දහස් පන්සියය ගැන පොතක් නො බිහි විය. එබැවින් බෞද්ධ ග්‍ර‍න්ථමාලාවට අඩුවක් ව පවතින ග්‍ර‍න්ථයක් වන මේ කෙලෙස් එක්දහස් පන්සියය නමැති ග්‍ර‍න්ථය ලිවීම ආරම්භ කරන ලදි.

මෙය අප විසින් ආරම්භ කරන ලද්දේ අවසානය තෙක් ලියමිය යන ස්ථිර බලාපොරොත්තුවකින් නොව අපහසුකමක් නො වුව හොත් අවසානය තෙක් ලිවීමේ අදහසිනි. ඒ අතර යම් යම් අපහසුකම් ඇති වුව ද ලිවීම ආරම්භ කළ දිනයේ පටන් සෑම දිනයක ම පොතින් පේලි කීපයක් හෝ ලිවිය හැකි විය. තෙමසක් පමණ ලිවීමෙන් පොත සම්පූර්ණ විය.

මේ ක්ලේශයෝ වනාහි මැටිකැට ගල්කැට පොල් ගෙඩි කොස් ගෙඩි ආදිය මෙන් පැහැයක් නැති සටහනක් නැති ප්‍ර‍මාණයක් නැති ශරීරයක් නැති ඇසට නො පෙනෙන අතට අසු නො වන සිතෙහි ඇති වන අරූපී ධර්ම කොට්ඨාසයෙකි. ඒවා තේරුම් කිරීමට උපයෝගී කර ගැනීමට ඇති එකම දෙයත් වචනය ම ය. ඇසට පෙනෙන අතින් ගත හැකි මැටිකැටයක ගල් කැටයක සැටි පවා වචනයෙන් හරියට ම තේරුම් කළ නො හැකි ය. පුද්ගලයන් හා වස්තූන් තේරුම් ගැනීමට ඡායාරූප උපයෝගී කර ගන්නේ එබැවිනි. වචනයට වඩා බලයක් ඡායාරූපයට තිබේ. ශරීරයක් නැති කෙලෙසුන්ගේ ඡායාරූප ගැනීමක් නො කළ හැකි ය. ඒවා කෙසේ හෝ වචන වලින් ම තේරුම් කළ යුතු ය. අරූපී ධර්මයන් වචනවලින් ම තේරුම් කිරීම පහසු නො වන බැවින් අභිධර්ම ග්‍ර‍න්ථයන්හි එක් එක් ක්ලේශයක් තේරුම් කිරීමට බොහෝ වචන උපයෝගී කර ගෙන ඇත්තේ ය. ලෝභය දැක්වීමට වචන සියයක් ද, ද්වේෂය දැක්වීමට වචන සූවිස්සක් ද, මෝහය දැක්වීමට වචන පස් විස්සක් ද ගෙන තිබේ. පාළි භාෂාව නොදත් සිංහල ජනයාට ඒ වචන වලින් කාරණය තේරුම් කළ නො හෙන බැවින් ඔවුනට තේරෙන්නට සිංහල වචනවලින් අමුතු ආකාරයකින් කෙලෙසුන් විස්තර කළ යුතු ය. එය දුෂ්කර කාර්‍ය්‍යයෙකි. එය අපේ ශක්තියේ සැටියට කරන ලදී. කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි ප්‍ර‍සිද්ධ සිංහල වචනම යොදා මේ ග්‍ර‍න්ථය ලියන ලදි. අපට දැනට ස්මරණ ශක්තිය ගිලිහී ගොස් ද ඇත. ලියන ලද දෙය ඉක්මනින් අමතක වී යන බැවින් මෙහි ඇතැම් තැනක පුනරුත්තයන් ද තිබිය හැකි ය. කෙලෙසුන් බෙහෙවින් වැඩෙන්නේ ආර්‍ය්‍ය ධර්මය නො දත් ආර්‍ය්‍ය ධර්මයෙන් නො හික්මවනව ලද කෙලෙසුන් නො හඳුනන අන්ධ පෘථග්ජනයන් ගේ සිත්වල ය. ඔවුන් ගේ සිත් කෙලෙස් නමැති විස ගස්වලට සරුබිම් ය. මේ පොත කියවා කෙලෙසුන් ගැන දැනීමක් ඇති කර ගැනීම තමන්ගේ සිත් පිරිසිදු කර ගනු කැමති ගිහි පැවිදි සියලු පින්වතුන්ට ඉතා ප්‍රයෝජන වනු ඇත.

මේ පොත මුද්‍ර‍ණය කරවීමේ දී ශෝධ්‍ය පත්‍ර‍ බැලීම් ආදි සියල්ල අපගේ ශිෂ්‍ය ශාස්ත්‍රාචාර්‍ය්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්ථවිරයන් කිරිඔරුවේ ධම්මානන්ද භික්ෂු නමගේ සහාය ඇතිව කරන ලදී. මේ පොත ඉක්මනින් මුද්‍ර‍ණය කර දුන් පන්නිපිටියේ තිලක් මුද්‍ර‍ණාලයේ ඇම්.ජේ. පෙරේරා මහතා ප්‍ර‍මුඛ සේවක පිරිසට ද පින් සිදුවේවා.

මීට,

ශාසනස්ථිතිකාමි

රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර

 

2517

1973 සැප්තැම්බර් 7 වැනි දින.

පොකුණුවිට,

ශ්‍රී විනයාලංකාරාරාමයේ දී ය.

 

ජාතික අභියෝගය

දීර්ඝකාලීණ විදේශ ආධිපත්‍යයෙන් නිදහස ලද ශ්‍රී ලංකාව, 19 වනසියවස තුළ ජාතිවාදී අරගල යන්ගෙන් හා ආගමික පීඩනයෙන් සිංහල බෞද්ධයා හෙම්බත් කළ සියවසක් විය. පූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමි, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, අනගාරික ධර්‍මපාල තුමා, එල්.එච්. මෙත්තානන්‍ද, ශ්‍රී චන්‍ද්‍ර‍රත්න මානවසිංහ වැනි විරුවන් මේ අරබයා ජාතිය දැනුවත් කර පාලනයට අභියෝග කළ අතර, 2500 ශ්‍රී බුද්ධ ජයන්ති උත්සවය නිසා යම් අස්වැසිල්ලක් ලැබීමට හැකි විය.

අපේ ම පාලකයන් විදේශ පාලකයන්ගේ ඊළඟ පුරුකක් වූ නිසා ස්වදේශිකයන් කුමන අංශයකින්වත් නිදහස් ලැබූ ජාතියක් නොවී ය.

2006.01.08 වන දිනට සියවසක් සපුරන ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ පූජ්‍යපාද රේරුකානේ චන්‍දවිමල මහානාහිමි සරල දහම් පොත් මගින් ආගමික දැනුම ඇති කිරීමෙන් ද, පූජ්‍යපාද කහටපිටියේ සුමතිපාල නාහිමි භාවනා ක්‍ර‍ම ප්‍ර‍ගුණ කරවීමෙන් ද තීරණාත්මකව මේ අභියෝගවලට මුහුණ දිය හැකි ජාතියක් සකස් කිරීමට නිහඬව විපුල සේවයක් ඉටු කළහ.

නූතන තරුණ පරපුර මේ යුගයේ ඉතිහාසය විස්තරාත්මකව දැනගෙන, අනාගතය සකස් කර ගැනීමට උත්සාහවත්වීම අපේ පැතුමයි.

 

පටුන

එක බැගින් දැක්වෙන ධර්ම තෙ සැත්තෑව

1. ජාතිමදෝ... 9

2. ගොත්තමදෝ... 9

3. ආරෝග්‍යමදෝ... 13

4. යොබ්බනමදෝ... 15

5. ජීවිතමදෝ... 16

6. ලාභමදෝ... 17

7. සක්කාරමදෝ... 18

8. ගරුකාරමදෝ... 19

9. පුරෙක්ඛාරමදෝ... 19

10. පරිවාරමදෝ... 20

11. භෝගමදෝ... 20

12. වණ්ණමදෝ... 21

13. සුතමදෝ... 22

14. පටිභාණමදෝ... 22

15. රත්තඤ්ඤුමදෝ... 23

16. පිණ්ඩපාතිකමදෝ... 23

17. අනවඤ්ඤාතමදෝ... 24

18. ඉරියාපථමදෝ... 24

19. ඉද්ධිමදෝ... 24

20. යසමදෝ... 24

21. සීලමදෝ... 25

22. ඣානමදෝ... 25

23. සිප්පමදෝ... 25

24. ආරෝහමදෝ... 25

25. පරිණාහමදෝ... 26

26. සණ්ඨානමදෝ... 26

27. පාරිපූරිමදෝ... 26

28. මදෝ... 26

29. පමාදෝ... 27

30. ථම්භෝ......... 28

31. සාරම්භෝ......... 28

32. අත්‍රිච්ඡතා... 29

33. මහිච්ඡතා... 30

34. පාපිච්ඡතා... 32

35. සිංගං... 35

36. තින්තිණං.... 36

37. චාපල්‍යං..... 36

38. අසභාගවුත්ති..... 37

39. අරති.. 39

40. තන්දි.... 39

41. විජම්භිතා... 40

42. භත්ත සම්මදෝ... 40

43. චේතසෝ ලීනත්තං....... 40

44. කුහනා... 40

45. ලපනා... 43

46. නේමිත්තිකතා... 44

47. නිප්පේසිකතා... 45

48. ලාභේන ලාභං නිජිගිංසනතා... 45

49. සෙය්‍යො හමස්මීති මානෝ..... 46

50. සදිසෝ හමස්මීති මානෝ..... 46

51. හීනෝ හමස්මීති මානෝ..... 46

52. සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ..... 47

53. සෙය්‍යස්ස සදිසෝ හමස්මීති මානෝ..... 48

54. සෙය්‍යස්ස හීනෝ හමස්මීති මානෝ..... 48

55. සදිසස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ..... 49

56. සදිසස්ස සදිසෝ හමස්මීති මානෝ..... 49

57. සදිසස්ස හීනෝ හමස්මීති මානෝ..... 49

58. හීනස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ..... 49

59. හීනස්ස සදිසෝ හමස්මීති මානෝ..... 50

60. හීනස්ස හීනෝ හමස්මීති මානෝ..... 50

61. මානෝ..... 50

62. අතිමානෝ..... 51

63. මානාතිමානෝ..... 51

64. ඕමානෝ..... 51

65. අධිමානෝ..... 51

66. අස්මිමානෝ..... 54

67. මිච්ඡා මානෝ..... 55

68. ඤාති විතක්කෝ......... 55

69. ජනපද විතක්කෝ......... 56

70. අමර විතක්කෝ......... 56

71. පරානුද්දයතා පටිසංයුත්තෝ විතක්කෝ......... 57

72. ලාභ සක්කාර සිලෝක පටිසංයුත්තෝ විතක්කෝ......... 57

73. අනවඤ්ඤත්ති පටිසංයුත්තෝ විතක්කෝ......... 58

 

ද්වික වශයෙන් දක්වන ලද ධර්‍ම සතිස

1. කෝධෝ 2. උපනාහෝ..... 60

3. මක්ඛෝ 4. පලාසෝ..... 62

5. ඉස්සා 6. මච්ඡරිය. 64

7. මායා 6. සාඨෙය්‍ය... 69

9. අවිජ්ජා 10. භවතණ්හා........ 71

11. භවදිට්ඨි 12. විභවදිට්ඨි.... 78

13. සස්සතදිට්ඨි 14. උච්ඡේද දිට්ඨි.... 79

15. අන්තවාදිට්ඨි 16. අනන්තවාදිට්ඨි.... 80

17. පුබ්බන්තානුදිට්ඨි 18. අපරන්තානුදිට්ඨි.... 80

19. අහිරික 20. අනොත්තප්ප.... 81

21. දෝවචස්සතා 22. පාපමිත්තතා... 83

23. අනජ්ජවො 24. අමද්දවො..... 88

25. අක්ඛන්ති 26. අසෝරච්චං...... 90

27. අසාඛල්ලං 28. අප්පටිසන්ථාරො.... 93

29. ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා... 97

30. භෝජනේ අමත්තඤ්ඤුතා... 97

31. මුට්ඨසච්චං 32. අසම්පජඤ්ඤං......... 100

33. සීලවිපත්ති 34. දිට්ඨි විපත්ති..... 101

35. අජ්ඣත්ත සංයෝජනං... 102

36. බහිද්ධා සංයෝජනං... 102

 

ත්‍රික වශයෙන් දැක්වෙන ධර්ම එකසිය පහ

අකුශල මූල. 104

අකුශල විතර්ක.... 105

අකුශල සංඥා... 107

අකුශල ධාතු.. 107

දුශ්චරිත.. 107

ආශ්‍ර‍ව. 108

සංයෝජන.. 108

විචිකිච්ඡාව. 112

සීලබ්බතපරාමාසය. 115

තණ්හා........ 115

ඒසනා... 116

අන්තග්‍රාහික දෘෂ්ටි දශය. 117

විධා... 122

තීනි තමානි.. 124

තීණි තිත්ථායතතානි.. 125

තිත්ථායතන.. 131

කිඤ්චන.. 131

අංගණ... 132

මල. 132

විසම. 132

ගිනි.. 133

කසාව. 137

මහිච්ඡතා... 145

අසම්පජඤ්ඤතා... 151

අනාදරියං 154

 

චතුෂ්ක වශයෙන් දැක්වෙන ක්ලේශ සපනස

චත්තාරෝ ඕඝා: 179

චත්තාරෝ යෝගා: 179

චත්තාරි උපාදානානි: 180

චත්තාරෝ තණ්හුප්පාද: 181

චත්තාරි අගතිගමනානි: 184

චත්තාරෝ විපරියේසා : 185

චත්තාරෝ අනරියවෝහාරා: 190

චත්තාරි දුච්චරිතානි: 191

චත්තාරි භයානි : 193

චතස්සෝ දිට්ඨියෝ : 196

 

පඤ්චක වශයෙන් දැක්වෙන ධර්ම පන්සැත්තෑව

පඤ්ච මච්ඡරියානි: 200

පඤ්චසංගා : 201

පඤ්චසල්ලා : 202

පඤ්ච වේතෝඛිලා: 202

පඤ්ච චේතසො විනිබන්ධා: 204

පඤ්ච නීවරණාති: 206

පඤ්ච කම්මානි ආනන්තරියානි: 211

පඤ්ච දිට්ඨියො: 215

පඤ්ච වේරා.. 215

පඤ්ච ව්‍යසනා: 216

පඤ්ච අක්ඛන්තියා ආදීනවා : 216

පඤ්ච භයානි: 217

පඤ්ච දිට්ඨධම්මනිබ්බානවාදා: 218

 

ෂට්ක වශයෙන් දැක්වෙන ධර්ම සූ අසූව

ඡ විවාද මූලානි: 221

ඡ ඡන්දරාගා: 222

ඡ විරෝධවත්ථුනි: 224

ඡ තණ්හාකායා: 225

ඡ අගාරවා: 225

ඡ පරිහානියා ධම්මා: 227

අපරේපි ඡ පරිහානියා ධම්මා...... 230

ඡ සෝමනස්සුපවිචාරා: 230

ඡ දොමනස්සුපවිචාරා: 231

ඡ උපෙක්ඛුපවිචාරා: 232

ඡ ගේහසිතානි සෝමනස්සානි: 233

ඡ ගේහසිතානි දෝමනස්සානි.. 234

ඡ ගේහසිතා උපෙක්ඛා...... 235

ඡ දිට්ඨියො: 236

 

සප්තක නිර්දේශය

සත්තානුසයා.. 239

සත්ත සඤ්ඤෝජනානි.. 240

සත්ත පරියුට්ඨානානි: 241

සත්ත අසද්ධම්මා: 241

සත්ත දුච්චරිතානි: 241

සත්ත මානා: 242

සත්ත දිට්ඨියෝ: 242

 

අෂ්ටක වශයෙන් දැක්වෙන ධර්ම සිවු සැට

අට්ඨ කිලේසවත්ථූනි: 246

අට්ඨ කුසීතවත්ථූනි: 246

අට්ඨසු ලෝකධම්මේසු චිත්තස්ස පටිඝාතෝ: 251

අට්ඨ අනරිය වෝහාරා: 255

අට්ඨ මිච්ඡත්තා: 255

අට්ඨ පුරිසදෝසා: 256

අට්ඨ අසඤ්ඤි වාදා: 258

 

නවක වශයෙන් දැක්වෙන ධර්ම එක් අසූව

නව ආඝාත වත්ථූනි: 261

නව පුරිස මනානි: 262

නව විධ මානා: 264

නව තණ්හා මූලක ධම්මා: 265

නව ඉඤ්ජිතානි: 266

නව මඤ්ඤිතානි: 267

නව එන්දිතානි. 267

නව පපඤ්චිතානි: 268

නව සංඛතානි: 268

 

දශක වශයෙන් දැක්වෙන ධර්ම සැත්තෑව

දස කිලේසවත්ථූනි: 271

දස ආඝාත වත්ථුනි.. 276

දස අකුසල කම්ම පථා: 278

දස සඤ්ඤෝජනානි: 278

දස මිච්ඡත්තා: 279

දසවත්ථුකා මිච්ඡාදිට්ඨි: 279

දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි: 280

දෙසැට මිථ්‍යාදෘෂ්ටිය. 282

කෙලෙස් එක්දහස් පන්සියය දක්වන නොයෙක් ක්‍ර‍ම. 298

ක්ලේශප්‍ර‍හාණය. 305

චිත්තෝපක්ලේශ ප්‍ර‍හාණය. 313


 

කෙලෙස්

එක් දහස් පන්සියය

 

සවාසනා සකලක්ලේශයන්ගේ ප්‍ර‍හීණත්වයෙන්

පරමවිශුද්ධ චිත්තසන්තානයක් ඇති භාග්‍යවත්

අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට

මාගේ නමස්කාරය වේවා!

සත්ත්වයකුට සිතය කයය කියා කොටස් දෙකක් ඇත්තේ ය. සිත නිසා කයත්, කය නිසා සිතත් පවතී. කයට දැනුමක් නැත. එබැවින් එය කිසි ක්‍රියාවක් නො කරයි. කයින් සිත පහ වුව හොත් එය දරකඩක් සේ තුබූ තැනක නිශ්චල ව තිබී කුණු වී යයි. මරණය කියනුයේ ද කයින් සිත පහ වීමට ය. සකල ක්‍රියාවන්ම සිදු කරන්නේ සිතය. කය ඒ සිතට වාසස්ථානයෙකි. වාහනයකි. ක්‍රියා කිරීමට උපකරණ රැසකි. වඩවකු කියත් නියන් මිටි ආදි උපකරණවලින් නොයෙක් දේ කරන්නාක් මෙන් සිත ද ශරීරයේ ඇති ඒ ඒ උපකරණ වලින් නොයෙක් ක්‍රියා කරයි. ඇස නමැති උපකරණයෙන් බලයි. කන නමැති උපකරණයෙන් අසයි. නාසය නමැති උපකරණයෙන් සුවඳ දුගඳ දැන ගනී. දිව නමැති උපකරණයෙන් රස විඳී. කය නමැති උපකරණයෙන් පහස විඳී. මුව නමැති උපකරණයෙන් කථා කරයි. ආහාර වළඳයි. පා නමැති උපකරණයෙන් ගමන් කරයි. අත නමැති උපකරණයෙන් නොයෙක් ක්‍රියාවන් කරයි. මරණින් පසු ශරීරය විනාශ වන නුමුත් ඒ ශරීරය ඇසුරු කොට පැවති චිත්ත පරම්පරාව නො නැසේ. එක් ශරීරයකින් ඉවත් වූ චිත්ත පරම්පරාව අන් සිරුරකට ආරූඪ වී පවතී. එයත් නැසුණු කල්හි අන් සිරුරකට ආරූඪ වේ. මෙසේ නිවනට පැමිණීම දක්වා චිත්ත පරම්පරාව නො සිඳී පවතී. මිනිසකු මැරී දෙව්ලොව උපදනා කල්හි මිනිස් ශරීරයෙන් කිසිවක් දෙව්ලොවට නො යයි. මළ මිනිසා ය, දෙවියා ය යන දෙදෙනා එක් පුද්ගලයකු වන්නේ දෙවියාගේ ශරීරයේ පවත්නා සිත මිනිස් සිරුරෙහි වූ චිත්ත පරම්පරාවට ම අයත් වන බැවිනි. මිනිසකු මැරී ප්‍රේත ව උපන් කල්හි ඒ දෙදෙනා එක් පුද්ගලයකු වන්නේ මිනිසාගේ සිත් පරම්පරාව ම ප්‍රේත ශරීරයට පැමිණීම නිසා ය. කය සේ ම සිතත් මරණයෙන් සිඳී යන්නේ නම් පුනර්භවයක් නො ලැබේ. කුශලාකුශල කර්මයන් කරන්නේ ද සිතිනි. ඒවා විපාක දෙන්නේ ද කර්මයන් කළ සිත් පරම්පරාවේ පැවැත්ම නිසා ය. මේ කරුණු අනුව සිත ම සත්ත්වයකුගේ ප්‍ර‍ධාන කොට්ඨාසය බව කිය යුතු ය. බුදුන් වහන්සේ විසින් ද මෙසේ වදාරා ඇත්තේ ය.

චිත්තේන නීයති ලෝකෝ - චිත්තේන පරිකස්සති

චිත්තස්ස ඒකධම්මස්ස - සබ්බේව වසමන්වගු

(දේවතා සංයුත්ත)

සත්ත්වයා විසින් ඒ ඒ භවයට ඒ ඒ තත්ත්වයට ගෙන යනු ලැබේ. සිතින් ඒ මේ අත අදින් ලැබේ. එක ධර්මයක් වූ සිතෙහි වසයට සියලු සත්ත්වයෝ ම ගියෝ ය යනු එහි තේරුම ය.

සත්ත්වයනට සුවදුක් ලැබෙන්නේ ඔවුන්ගේ සිත් පැවති ආකාරයේ සැටියට ය. එබැවින් සැප කැමති, දුක් නො කැමති සෑම දෙනා විසින් ම සිත ගැන දැනුමක් ඇති කර ගත යුතු ය. සිත පාලනය කර ගත යුතු ය.

පහස්සරමිදං භික්ඛවේ චිත්තං යි වදාරා ඇති පරිදි සත්ත්වයාගේ සිත ප්‍ර‍කෘතියෙන් පිරිසිදු ය. මඩ දැලි කෙළ සෙම් සොටු මල මුත්‍ර‍ ආදිය එක් වීමෙන් ශුද්ධ ජලය අපවිත්‍ර‍ වන්නාක් මෙන් රාගාදි පාප ධර්මයන් එකතු වීමෙන් පිරිසිදු සිත කිලිටි වේ. කුණු වේ. සිත කිලිටි වූ කල්හි ඒ පුද්ගලයා හට තමාට විය හැකි අර්ථානර්ථයන් නො දැනෙන්නේ ය. අනුන්ට විය හැකි අර්ථානර්ථයන් ද නො දැනෙන්නේ ය. කළ යුත්ත නො කළ යුත්ත නො දැනෙන්නේ ය. කිලිටි වූ සිතෙන් කිසි කලෙක යහපතක් සිදු නො කෙරේ. කෙරෙතොත් කෙරෙන්නේ තමාට හා අන්‍යයන්ට නපුරක් වන දෙයක් පමණෙකි. කිලිටි නො වන පරිදි සිත ආරක්‍ෂා කර නො ගත් පුද්ගලයෝ දුකින් දුකට ම පත් වෙති. එබැවින් මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සිත ආරක්‍ෂා කර ගැනීම සඳහා බොහෝ අනුශාසනයන් කර ඇත්තේ ය. අනේකාකාරයෙන් නොයෙක් උපමා දක්වමින් අනුශාසනා කර ඇත්තේ ය. ඉන් කීපයක් මෙසේ ය:-

දිසො දිසං යන්තං කයිරා - වෙරිවා පන වෙරිනං

මිච්ඡා පණිහිතං චිත්තං - පාපියොනං තතො කරෙ

අනුන්නේ වස්තුව පැහැර ගන්නා සොරෙක් ඔහුගේ වස්තුව පැහැර ගන්නා සොරකු හමු වූ විට, ඒ සොරාට යම් බඳු නපුරක් කෙරේ ද, තමාට අනර්ථ කරන සතුරකු මුණ ගැසුණු තැනැත්තකු විසින් ඒ සතුරාට යම් බඳු නපුරක් කෙරේ ද, එයට වඩා මහත් නපුරක් නො මනා සිත් ඇති පුද්ගලයාට ඒ සිත කරන්නේ ය.

න තං මාතාපිතා කයිරා - අඤ්ඤේ වා පිච ඤාතකා

සම්මා පණිහිතං චිත්තං - සෙය්‍යසො නං තතො කරෙ

(ධම්මපද චිත්තවග්ග)

පුද්ගලයකු කිළිටි වන්නට නො දී මනා කොට තබා ගන්නා ලද සිත යම් යහපතක් සිදු කෙරේ ද එපමණ යහපතක් ඔහුට මාපියෝ ද නෑයෝ ද නො කරන්නාහ. කිරීමට සමත් නො වන්නා හ.

සමතිත්තිකං අනවසෙසකං

තෙලපත්තං යථා පරිහරෙය්‍ය

එවං සචිත්ත මනුරක්ඛෙ

පත්ථයානො දිසං අගත පුබ්බං

(ජාතික පාලි)

මුවවිට දක්වා තෙල් පිරවූ පාත්‍ර‍යක් තෙල් නො ඉසිරෙන සේ සිහියෙන් ගෙන යන්නාක් මෙන් කිසි කලෙක නො ගිය තැන වූ නිවනට යනු කැමැති තැනැත්තේ තමාගේ සිත කිලිටි නො වන සේ සිහියෙන් ආරක්‍ෂා කරගන්නේ ය.

සිත කිලිටි කරන නරක් කරන තවන අකුශල පාක්ෂික චෛතසික ධර්මයෝ කිලේස නම් වෙති. කෙලෙස්, ක්ලේශ යන මේවා ද ඒවාට කියන නම් ය. එක්දහස් පන්සියයක් ලෙස ගණන් ගෙන ඇති කෙලෙස් සියල්ල විභාග වශයෙන් දක්වා ඇති යම්කිසි එක් සූත්‍ර‍ධර්මයක් නැත්තේ ය. එබැවින් කෙලෙසුන්ගේ ගණන අඩුවැඩි නැති ව හරියට ම දැක්වීම අපහසු ය. එක්දහස් පන්සියය යන මේ ගණන සාමාන්‍ය ගණනෙකි. සිත කිලිටි කරන ධර්ම සියල්ල තථාගතයන් වහන්සේ විසින් දේශනය කර ඇත්තේ ක්ලේශ යන නාමයෙන්න ම නොවේ. උපක්කිලේස කිලේස අංගණ චේතොඛිල ආසව ඕඝ යෝග නීවරණාදි නොයෙක් නම් වලින් සූත්‍ර‍ පිටකයෙහි හා අභිධර්ම පිටකයෙහි නොයෙක් තැන්වල නොයෙක් සූත්‍ර‍වල සිත කිලිටි කරන ධර්ම, දේශනය කර ඇත්තේ ය. එක් දහස් පන්සියය යන ගණන කියන්නේ ඒවා ක්ලේශ යන නමින් එකතු කර ගැනීමෙනි. ආචාර්‍ය්‍යවරයන් විසින් කෙලෙස් එක්දහස් පන්සියය දක්වන ක්‍ර‍ම කීපයක් ඇත්තේ ය. අභිධර්මපිටකයේ ඛුද්දකවත්ථුවිභංගයේ හා බ්‍ර‍හ්මජාලසූත්‍රයෙහි දැක්වෙන කරුණු අනුව කෙලෙස් එක්දහස් පන්සියය දැක්වීම ඉන් එක් ක්‍ර‍මයෙකි. මේ ග්‍ර‍න්ථයෙහි කෙලෙස් එක්දහස් පන්සියය විස්තර කරන්නේ ද ඒ ක්‍ර‍මයෙනි.

ලෝකෝත්තර මාර්ගයෙන් මතු කිසිකලෙක නැගී නො එන පරිදි කෙලෙසුන් සහමුලින් ම නසා නැති පෘථග්ජන පුද්ගලයන් තුළ මේ කෙලෙස් එක් දහස් පන්සියය ම යටපත් වී පවත්නේ ය. එහෙත් පෘථග්ජන චිත්තය නිරන්තරයෙන් ම කිලිටි වී පවත්නේ නො වේ. සිත කිලිටි වන්නේ යටපත් වී ඇති කෙලෙසුන්ගෙන් යම්කිසිවක් නැගී ආ විට ය.

අලු යට ගිනි අඟුරු ලෙසින්, ඇති බව නො දැනෙන පරිදි යටපත්ව පවත්නා අවස්ථාව ය, ඇති බව දැනෙන පරිදි මතු වී පවත්නා අවස්ථාවය, ක්‍රියා කරන අවස්ථාවයයි කෙලෙසුන්ගේ අවස්ථා තුනක් ඇත්තේ ය. රාගාදි කෙලෙසුන් ඇතිවීමට හේතු වන රූපාදි ආරම්මණයන් ලද කල්හි ඒ කෙලෙසුන් ඇති වන්නේ ඒවා ඒ පුද්ගලයාගේ සන්තානයෙහි යටපත් වී තිබීම නිසා ය. අනාගාමී මාර්ගයෙන් කාමරාගය සම්පූර්ණයෙන් ම නැති කරනු ලැබේ. එබැවින් අනාගාමී අර්හත් පුද්ගලයන්ගේ සන්තානවල යටපත්ව පවතින කාමරාගයක් නැත. කාමරාගයට ආහාරය වන ස්ත්‍රී රූපයක් දැකීමෙන් හෝ ශෝභන තරුණියක හා කථා කිරීමෙන් හෝ එක් ව විසීමෙන් හෝ එක් ව ශයනය කිරීමෙන් හෝ අනාගාමී අර්හත් පුද්ගලයන්ට කාම රාගයක් ඇති නො වන්නේ ය. එයට හේතුව ඒ පුද්ගලයන් තුළ යටපත්ව පවතින කාම රාගයක් නැති බව ය. පෘථග්ජන පුද්ගලයන්ට වනාහි ලස්සන තරුණියක් ගැන ඇසූ පමණින් වුව ද කාම රාගය ඇති වේ. එයට හේතුව ඔවුන් තුළ කාම රාගය නමැති ක්ලේශය යටපත් වී තිබීම ය. ධර්ම විභාග නොදත් පුද්ගලයෝ තමන් තුළ කෙලෙස් ඇති වුව ද ඒ ඇති වුන දේවල් කෙලෙසුන් බව නො දති. ශෝභන තරුණිය දුටු තරුණයා කෙරෙහි තරුණිය ගැන ආදරයක් ඇති වේ. ඇය නැවත නැවත දැකීමේ ආශාවක් ඇය හා කථා කිරීමේ ආශාවක් ඇගේ සිත් ගැනීමේ ආශාවක් ඇයට සංග්‍ර‍හ කිරීමේ ආශාවක් ඇති වේ. තරුණයා තුළ ඇතිවන ඒ ආදරය හා ආශා රාශිය කාමරාගය නමැති ක්ලේශය ය. ස්ත්‍රී රූපයේ නිසරු බව සැලකීමෙන් හෝ රාගයේ ආදීනවය සැලකීමෙන් හෝ අන් වැඩක යෙදීමෙන් හෝ ඒ නැගී සිටි කාමරාගය නමැති ක්ලේශය යටපත් නො කළහොත් එය වැඩී ක්‍රියාකාරී භාවයට පැමිණෙන්නේ ය. ඔහු දුටු තරුණිය වෙත යන්නේ ය. ඇය හා කථා කරන්නේ ය. එයට විරුද්ධ වන අය හා කලහ කරන්නේය. ඇය සතුටු කරවීම සඳහා ප්‍රාණවධාදි නොයෙක් පව්කම් ද කරන්නේ ය. ඒ කාමරාගය නමැති ක්ලේශයේ ක්‍රියා කරන අවස්ථාව ය. කියන ලද ක්‍ර‍මයෙන් සියලු කෙලෙසුන්ගේ ම අවස්ථා තුන තේරුම් ගත යුතුය. පත්ළෙහි මඩ ඇති ලිඳේ ජලය නො කැළඹෙන තෙක් පිරිසිදු ය. එමෙන් එක් දහස් පන්සියයක් කෙලෙසුන් සිතෙහි යටපත් වී ඇත ද ඒවායින් කවරක් හෝ නැඟී එන තුරු සිත පිරිසිදු ය. සිත අපිරිසිදු වන්නේ නැගී සිටියාවූ ද ක්‍රියාකාරිත්වයට පැමිණියා වූ ද කෙලෙසුන්ගෙනි. කෙලෙස් යටපත් වී පවත්නා තෙක් පුද්ගලයාගෙන් පාපයක් නො කෙරේ. සියලු ම පව් කෙරෙන්නේ නැගී සිටියා වූ කෙලෙසුන් නිසාය. බොහෝ පින් ඇති පුද්ගලයකු වුව ද මරණාසන්න කාලයේ කෙලෙසුන්ගෙන් දූෂිත වූ සිතින් විසුවහොත් ඔහු පින් ඇත ද නරකයෙහි උපදනා බව -

චේතොපදොස හෙතු පන භික්ඛවෙ එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති

(අංගුත්තර ඒකකනිපාත)

යනුවෙන් වදාරා ඇත්තේ ය. කෙලෙසුන් ගෙන් සිත දූෂිතවීම ඉමහත් නපුරක් බැවින් එසේ නො වන පරිදි පරෙස්සම් විය යුතු ය. පරෙස්සම් වීම නම් බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය සේවනය කිරීම හා සිහියෙන් යුක්තව විසීමය. එසේ වාසය කරන සත්පුරුෂයන්ගේ සිත්වල කෙලෙස් නැග සිටීම අඩුය. පෘථග්ජන පුද්ගලයාට සැම කල්හි ම සිහියෙන් යුක්ත විය නො හෙන බැවින්, ගිහිගෙය හැර පැවිදිව වනගත ව මහණදම් පුරන පින්වතුන් තුළ ද සමහර විට කෙලෙස් මතු වේ. එසේ මතු වන්නා වූ කෙලෙසුන් ඒ පින්වත්හු වහා සන්සිඳවා ගනිති. ඒ ජාතියෙහිදී ම රහත්වීමේ බලාපොරොත්තුවෙන් අතීතයේ මහණදම් පිරූ ඇතැම් භික්ෂූන් ගමනෙහිදී උපන් ක්ලේශය ගමනෙහිදී ම ද, සිටීමේදී උපන් ක්ලේශය සිටීමේදී ම ද, හිඳීමේ දී උපන් කලේශය හිඳීමෙහිදී ම ද, ශයනයෙහිදී උපන් ක්ලේශය ශයනෙහිදී ම ද සන්සිඳුවා ගනිමින් මහණ දම් පිරූ බව දහම් පොත් වල සඳහන් ව ඇත්තේ ය. සාමාන්‍ය ජනයාගේ සිත් නිතරම පවතින්නේ කෙලෙසුන් ගෙන් දූෂිතව ය. කෙලෙසුන් නො හඳුනන බැවින් ඔවුහු ඒ බව නො දනිති. එබැවින් ඔවුහු උපන් ක්ලේශය සන්සිඳවීමට උත්සාහ නො කෙරෙති. කෙලෙසුන් නැඟී නො එන ලෙස විසිය හැකි වීමට හා උපන් ක්ලේශය දුරු කර ගත හැකි වීමට කෙලෙසුන් හැඳින ගත යුතුය.

කෙලෙස් එක් දහස් පන්සියය සැකෙවින් දැක්වීම

විභංගප්‍ර‍කරණයේ ඛුද්දකවත්ථු විභංගයේ:-

එක බැගින් දැක්වෙන ධර්ම 73

දුක වශයෙන් දැක්වෙන 36

ත්‍රික වශයෙන් දැක්වෙන 105

චතුෂ්ක වශයෙන් දැක්වෙන 56

පඤ්චක වශයෙන් දැක්වෙන 75

ෂට්ක වශයෙන් දැක්වෙන 84

සප්තක වශයෙන් දැක්වෙන 49

අෂ්ටක වශයෙන් දැක්වෙන 64

නවක වශයෙන් දැක්වෙන 81

දශක වශයෙන් දැක්වෙන 70

බ්‍ර‍හ්මජාල සූත්‍රයෙහි දැක්වෙන දෘෂ්ටි 62

එකතුව 755

මේ ධර්ම සත්සිය පස්පනස උත්පන්න අනුත්පන්න භේදයෙන් ගන්නා කල්හි එක්දහස් පන්සිය දසයක් වේ. නොයෙක් නම් වලින්න දේශනය කර ඇත්තා වූ ඒ සියල්ලෝ ම සිත කිලිටි කරන ධර්මයෝ ය. අධික වූ දශය ගණනට නො ගෙන ඒ ධර්ම සමූහයට කෙලෙස් එක්දහස් පන්සියය යි කියනු ලැබේ. මේ ධර්මසංගණී මූලටිකාවේ දක්වා ඇති ක්‍ර‍මය ය.

එක බැගින් දැක්වෙන ධර්ම තෙ සැත්තෑව

ජාතිමදෝ, ගොත්තමදෝ, ආරෝග්‍යමදෝ, යොබ්බනමදෝ, ජීවිතමදෝ, ලාභමදෝ, සක්කාරමදෝ, ගරුකාරමදෝ, පුරෙක්ඛාරමදෝ, පරිවාරමදෝ, භෝගමදේ, වණ්ණමදෝ, සුතමදෝ, පටිභාණමදෝ, රත්තඤ්ඤුමදෝ, පිණ්ඩපාතිකමදෝ, අනවඤ්ඤාතමදෝ, ඉරියාපථමදෝ, ඉද්ධිමතෝ, යසමදෝ, සීලමදෝ, ඣානමදෝ, සිප්පමදෝ, ආරෝහමදෝ, පරිණාහමදෝ, සණ්ඨානමදෝ, පාරිපූරිමදෝ, මදෝ, පමාදෝ, ථම්භෝ, සාරම්හෝ, අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා, සිංගං, තින්තිනං, චාපල්‍යං, අසභාගවුත්ති, අරති, තන්දි, විජම්භිතා, භත්තසම්මදෝ, චේතසෝලීනත්තං, කුහනා, ලපනා, නේමිත්තිකතා, නිප්පේසිකතා, ලාභෙන ලාභං නිජිගිංසනතා, සෙය්‍යෝහමස්මීති මානෝ, සදිසෝ හමස්මීති මානෝ, හීනෝහමස්මීති මානෝ, සෙය්‍යස්ස සෙය්‍යෝහමස්මීති මානෝ, සෙය්‍යස්ස සදිසෝහමස්මීති මානෝ, සෙය්‍යස්ස හීනෝහමස්මීති මානෝ, සදිසස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ, සදිසස්ස සදිසෝ හමස්මීති මානෝ, සදිසස්ස හීනොහමස්මිති මානො, හීනස්ස සෙය්‍යොහමස්මීති මානෝ, හීනස්ස හීනෝහමස්මීති මානෝ, මානෝ, අති මානෝ, මානාතිමානෝ, ඕමානෝ, අධිමානෝ, අස්මිමානෝ, මිච්ඡාමානෝ, ඤාතිවිතක්කෝ, ජනපද විතක්කෝ, අමරවිතක්කෝ, පරානුද්දයතා, පටිසංයුත්තෝ විතක්කෝ, ලාභසක්කාරසිලෝක පටිසංයුත්තෝ විතක්කෝ, අනවඤ්ඤත්ති පටිසංයුත්තෝ විතක්කෝ, එකකං,

(ඛුද්දකවත්ථු විභංග)

 

1. ජාතිමදෝ

2. ගොත්තමදෝ

අධික ව මත්පැන් පානය කළ අයට ඇත්ත නැත්ත නො දැනෙන, කළ යුත්ත නො කළ යුත්ත නොදැනෙන, ගරු කළ යුත්තන් කීකරු විය යුත්තන් නො දැනෙන, තමා ම ලෝකයේ ශ්‍රේෂ්ඨයා ය, සපනාය උගතාය නැණවතා ය කියා හැඟෙන මහා සම්මෝහයෙන් යුත් උඩඟුවක් ඇති වේ. එයට මතයයි ද කියනු ලැබේ. සුරා මදය දිගු කලක් නො පවතී. පැය ගණනකින් සන්සිඳේ. ලෙහෙසියෙන් නො සන්සිඳෙන බැවින් ද බොහෝ කල් පවත්නා බැවින් ද සුරා මදයට වඩා නපුරු වඩා අනර්ථකර මද සත්විස්සක් ඇත්තේ ය. මේ කෙලෙස් ලැයිස්තුවේ මුලින් ම දැක්වෙන්නේ ඒ මද සත්විස්ස ය.

මනුෂ්‍යයෝ සිංහල දෙමළ මුස්ලිම් බුරුම සියම් චීන ජපන් යනාදි නම්වලින් ද ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදි නම් වලින් ද කොටස් වලට බෙදී සිටිති. ඒ කොටස් ජාති නම් වේ. එක් එක් ජාතියක් ද තවත් නොයෙක් නම් වලින් කුඩා කොටස් වලට බෙදී සිටී. ඒ කොටස් ගෝත්‍ර‍ නම් වේ. ඇතැම් ජාතියක් ඇතැම් ගෝත්‍ර‍යක් උසස් කියා ද ඇතැම් ජාතියක් ගෝත්‍ර‍යක් පහත් ය කියා ද සම්මුති ඇත්තේ ය. තමන්ගේ ජාතිය ගෝත්‍ර‍ය උසස් යයි පිළිගන්නා අයට ඒ නිසා සෙය්‍යමානය ද පහත් යයි පිළිගන්නා අයට හීනමානය ද ඇති වේ.

ජාතියෙන් කුලයෙන් ගෝත්‍රයෙන් තමා උසස් ය කියා ඇති වන මානය මෝහයේ සහාය ලැබීමෙන් ක්‍ර‍මයෙන් දියුණු වේ. මම උසස් ජාතියක උසස් කුලයක කෙනෙක් වෙමි, මම උසස් කෙනෙක් වෙමි, සෙස්සෝ පහත් අය ය, මා ඔවුන්ගෙන් වෙන් ව විසිය යුතුය, ඔවුන් හා එක් ව කටයුතු නො කළ යුතුය, ඔවුන්ගේ වැඩවලට මා සහභාගී නො විය යුතුය, ඔවුන් මට ගරු කළ යුතුය. සැලකිලි කළ යුතුය. කීකරු විය යුතුය යන සම්මෝහයෙන් යුක්ත ව දියුණු වූ මහත් වූ බලවත් වූ මානය ජාති මද නම් වේ. ගෝත්‍ර‍ය නිසා එසේ ඇතිවන මානය ගෝත්‍ර‍මද නම් වේ. මේ මදය එක්තරා සියුම් උමතු බවෙකි.

මේ ජාති කුල ගෝත්‍ර‍ මදවලින් මත් වී සිටින අය බෙහෙවින් ඇත්තේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ය. එය මේ දෙරටට බලවත් පිරිහීමේ හේතුවක් ව ඇත්තේ ය. ජාතිමද ගෝත්‍ර‍මද නිසා කෙනෙක් තමා උසස් ය, සෙස්සෝ පහත් යයි සිතා ගෙන සිටියාට සෙස්සෝ එය නො පිළිගනිති. තමා පහත් යයි කීමට කැමති වන කෙනෙක් ද නැත. එබැවින් සෙසු අය තමා උසස් ය කියා ගෙන සිටින තැනැත්තාට සතුරු ය. ඔහුට කිසි කරුණකට සෙස්සන්ගේ සහයෝගය නො ලැබේ. සෙස්සන් ඒ උසස් කම නො පිළිගන්නේ නම් උසස්ය කියා තමා ගැන තමා සිතා ගෙන සිටීමෙන් ඇති යහපතක් නැත. එයින් ඇත්තේ තමා අප්‍රිය කරන සතුරු පිරිසක් ඇති වීම පමණකි. ඇතැම්හු ජාතිමද ගෝත්‍ර‍මදයන් නිසා තුමූ නිර්ධනව සිට පොහොසතුන් අනුකරණය කරන්නට ගොස් රටට ණය වී තමන්ගේ නිවහනට පවා අහිමි වී පරම දරිද්‍ර‍ භාවයට පත් වෙති. ඇතැම්හු මේවා අප විසින් නො කළ යුතු, පහත් අය විසින් කළ යුතු වැඩ යයි තන් විසින් කළ යුතු වැඩ ද නො කර හැර දිළිඳු බවට පත් වෙති. ඇතැම්හු ගරු බුහුමන් කළ යුතු ගුණවතුන්ට අගෞරව කොට අවමන් කොට මරණින් පසු අපායට ද යෙති. උම්මත්තකයා තමාගේ උමතු බව නොපිළිගන්නාක් මෙන් මදය ඇති තැනැත්තා ද තමා මත් වී ඇති බව නො පිළිගනී. එබැවින් මේ මදය නමැති ක්ලේශය දුරු කරවීම දුෂ්කර ය. එය දුරු වන්නේ සත්‍යය වැටහීමෙනි. එය දුරු කරවීමට දිය යුතු බෙහෙත සත්‍යය අවබෝධ කරවීමය. ජාතිගෝත්‍ර‍ වශයෙන් කියන ඒ ඒ අයගේ උසස් පහත් බවෙහි සත්‍යාසත්‍ය භාවය සෙවිය යුතුය. රන් කාසිය රිදී කාසි තඹ කාසි වලට වඩා උසස් ය. එය සැම දෙන ම පිළිගනිති. එබැවින් එය සත්‍යයෙකි. අන් සැමට ම වඩා ජාතියෙන් බමුණන් උසස්ය යනු ඔවුන්ගේ පිළිගැනීමය. එබැවින් ඇතැම් බමුණෝ බුදුරදුන්ගෙන් පවා ගරු බුහුමන් බලාපොරොත්තු වූහ. ඇතැම්හු ඔවුන්ගේ උසස් බව බුදුරදුන්ටත් පිළිගැන්වීමට උන් වහන්සේ ලවා අනුමත කරවා ගැනීම සඳහා වාදයට ද ආහ. තුමූ අන් හැමට ම වඩා ජාතියෙන් උසස් ය යි බමුණෝ පිළිගනිති. බහුතර සංඛ්‍යාවක් වන සෙස්සෝ එය නො පිළිගනිති. බමුණන්ගේ උසස් බවත් රන්පවුමේ උසස් බව මෙන් සැම දෙනාම පිළිගන්නේ නම් එය සත්‍යයක් විය හැකිය. ලෝකයේ වැඩි ජනකායක් නො පිළිගන්නා බැවින් එය සත්‍යයක් නො විය හැකිය. මේ රටේ ද ඇතැම් කුල ගෝත්‍ර‍වල අය කුලය ගෝත්‍ර‍ය නිසා තුමූ උසස් යයි සිතා ගෙන සිටිති. ඒ උසස් කම ඒ කුලයේ ඒ ගෝත්‍රයේ අය මිස සෙස්සෝ නො පිළිගනිති. නො පිළිගන්නෝ ම ඉතා බොහෝය. එබැවින් එහි සත්‍යයක් නැති බව කිව යුතුය. බ්‍රාහ්මණයා උපදින්නේත් රාජකුමාරයා උපදින්නේත් රදලයා උපදින්නේත් රොඩියා උපදින්නේත් අපවිත්‍ර‍ දෙයින් පිරුණු පරම දුර්ගන්ධයෙන් යුක්ත ස්ත්‍රියකගේ කුසය නමැති අපවිත්‍ර‍ ස්ථානයක ය. උත්පත්තිස්ථානය අනුව ඒ සතර දෙනාගේ වෙනසක් නැත. ඉදින් උසස් ය කියන බ්‍රාහ්මණාදීන් පියුමක හෝ රන් කරඬුවක හෝ රිදීකරඬුවක හෝ සඳුන් කරඬුවක හෝ උපදින්නේ නම් ඔවුන්ගේ වෙනසක් ඇත. සැම දෙන ම ගැහැණුන්ගේ කුස වල ම උපදනා බැවින් උත්පත්තියෙන් ඔවුන්ගේ වෙනසක් නැත. සැඩොල් ගැහැණියකගේ කුසයට වඩා අමුතු පිරිසිදු බවක් බැමිණියගේ කුසයේ හෝ රැජිනගේ කුසයෙහි නැත. ඒ එක් අයකුගේවත් ශරීරයේ චන්දනාදි සුගන්ධ ද්‍ර‍ව්‍යයක් හෝ රන් රිදී ආදි වටිනා දෙයක් හෝ නැත. සැම දෙනාගේ ම ශරීර සෑදී ඇත්තේ කේශාදි කුණප කොට්ඨාසයන්ගෙනි. චණ්ඩාලයාගේ ශරීරයෙන් ද, දහඩිය, කෙළ, සෙම, සොටු මලමුත්‍ර‍ ගලන්නේය. බමුණාගේ, රජුගේ සිරුරෙන් ද ඒවා ම ගලන්නේ ය. කුලවතාගේ ශරීරයෙන් ගලන දහඩිය ආදියෙහි අමුතු සුවඳක් නැත. චණ්ඩාලයාගේ ඇසක් ඇත. බමුණාටත් ඇසක් ඇත. කුලයේ අනුහසින් චණ්ඩාලයාගේ ඇසේ පෙනීමට වැඩි පෙනීමක් බමුණාගේ ඇසෙහි නැත. බමුණාගේ කණට ඇසෙන සියල්ල චණ්ඩාලයාගේ කනටත් ඇසෙන්නේ ය. බමුණාගේ අත් පා වලින් කළ හැකි සියල්ල චණ්ඩාලයාගේ අත් පා වලින් ද කළ හැකිය. බමුණාටත් පින් පව් දෙක ම කළ හැකිය. චණ්ඩාලයාටත් පින් පව් දෙක ම කළ හැකි ය. පව් කළ බමුණා කුලයේ බලයෙන් අපායට නොයන්නේ නොවේ. පින් කළ චණ්ඩාලයාට ස්වර්ගයට යාමට කුලය නිසා බාධාවක් ද නැත. බුදුන් වහන්සේ ජාති කුල ගෝත්‍ර‍ අනුව මිනිසුන්ගේ උසස් පහත් බව නො පිළිගන්නාහ. බුදු සස්නෙහි සැමට ම පැවිද්ද ලැබිය හැකිය. උපසම්පදාව ලැබිය හැකිය. ධ්‍යානාභිඥා මාර්ග ඵල ලැබිය හැකිය. කරුණු මෙසේ හෙයින් ජාති කුල ගෝත්‍ර‍ අනුව මිනිසුන්ගේ උසස් පහත් බවක් නැති බව කිය යුතුය.

න ජච්චා වසලෝ හොති - න ජච්චා හොති බ්‍රාහ්මණො

කම්මනා වසලෝ හොති - කම්මනා හොති බ්‍රාහ්මණො

(වසල සුත්ත)

ජාතිය නිසා වසලයෙක් පහත් පුද්ගලයෙක් නොවේ. ජාතිය නිසා බ්‍රාහ්මණයෙක් උසස් පුද්ගලයෙක් ද නොවේ. ඒ ඒ තැනැත්තාගේ ක්‍රියා අනුව ම පහත් පුද්ගලයෙක් වේ. උසස් පුද්ගලයෙක් ද වේ.

3. ආරෝග්‍යමදෝ

නිරෝගී භාවය නිසා ඇති වන මත, උඩඟු බව ආරෝග්‍යමද නම් වේ. මේ මිනිස් ලොව සම්පූර්ණයෙන් නිරෝගී පුද්ගලයෙක් නැත. ඇතුන් දහසක බල ඇති බුද්ධ ශරීරයේ ද නොයෙක් රෝග හට ගත්තේ ය. සෙස්සන් ගැන කියනුම කිම? ශරීරය රෝග හට ගන්නා ස්ථානය ය. ජලය ඇති තැන මසුන් ඇති වන්නාක් මෙන් ශරීරයක් ඇතොත් රෝග හට ගන්නේ ය. එබැවින් නකුලපිතු නම් ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

ආතුරොහයං ගහපති කායො අණ්ඩභූතො පරියොනන්ධො. යො හි ගහපති ඉමං කායං පරිහරන්තො මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය, කිමඤ්ඤත්‍ර‍ බාල්‍යා?

(සංයුක්ත නිකාය ඛන්ධවග්ග)

ගෘහපතිය, මේ කය රන් පැහැ ඇතියක් වුවද නිතර අපවිත්‍ර‍ දෑ උතුරන වැගිරෙන එකක් බැවින් ආතුර ය. දුබල බැවින් බිජුවටක් බඳුය. දුබල සමකින් වැසී ඇතියක. ගෘහපතිය, යමකු මේ කය පරිහරණය කරමින් මොහොතකට හෝ නිරෝගී බව පවසනවා නම් එය මෝඩ කම මිස අන් කුමක් ද? යනු එහි තේරුම ය.

සාගින්නත් රෝගයකි. පිපාසයත් රෝගයකි. ශරීරයෙන් දහඩිය කෙළ සෙම් සොටු මලමුත්‍ර‍ ගැලීමත් රෝගයකි. එක් ඉරියව්වකින් වැඩි වේලාවක් සිටියහොත් වේදනා හට ගැනීමත් රෝගයකි. මේ රෝග කාහටත් නිරන්තරයෙන් ඇත්තේ ය. සෙම්ප්‍ර‍තිශ්‍යාව කැස්ස උණ වමනය විරේචනය පීනස අර්ශස කුෂ්ටය පිළිකාව යනාදි රෝග ස්ථිර වශයෙන් නො වැළඳෙන ශරීරයක් නැත. ඇතැම්හු රෝග බහුලයෝ ය. ඇතැමුන්ට රෝග මඳය. ධර්මයෙන් ඈත්ව වාසය කරන්නා වූ ඇතැමුන්ට නිතර රෝග වලින් පෙළෙන අය දුටු විට තුමූ නිරෝගීය කියා රෝගීන් පහත් කොටත් තමන් උසස් කොටත් ගන්නා මානයක් ඇති වේ. එය දියුණු වීමෙන් ආරෝග්‍යමදය නමැති මත ඇති වේ. එහි ආදීනවය තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.

ආරෝග්‍යමද මත්තෝ වා භික්ඛවේ, අස්සුතවා පුථුජ්ජනෝ කායෙන දුච්චරිතං චරති. වාචාය දුච්චරිතං චරති. මනසා දුච්චරිතං චරති. සෝ කායේන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති.

(අංගුත්තර නිකාය තික නිපාත)

මහණෙනි, ආරෝග්‍ය මදයෙන් මත් වූ නූගත් පෘථග්ජන තෙමේ කයින් ද පව් කරයි. වචනයෙන් ද පව් කරයි. සිතින් ද පව් කරයි. හෙතෙමේ පව් කොට මරණින් මතු සැපයෙන් පහ වූ අපායෙහි උපදීය යනු එහි අදහසයි.

ආරෝග්‍ය මදයෙන් මත් වූ ඇතැම්හු අන්‍යයන්ට ලෙඩ හැදුනාට අපට සෑදෙන්නේ නැත කියා ශරීරයට අහිත දේ කා බී, පමණ ඉක්මවා ඇතැම් ක්‍රියා කොට නුසුදුසු සේ හැසිර රෝග සාදා ගනිති. එය ද ආරෝග්‍ය මදයෙන් වන එක් අන්තරායකි.

4. යොබ්බනමදෝ

ජරාව එක්තරා සංවේග වස්තුවකි. එහෙත් නුවණ මඳ තරුණයන්ට මහල්ලන් දුටු විට ඔවුන් දුබලයන් කොට මෝඩයන් කොට පහත් කොට පිළිකුල් කොට සලකන තමා උසස් කොට ගන්නා මානය ඇති වේ. කළ යුත්ත නොකළ යුත්ත නො දැනෙන පමණට වැඩුණා වූ ඒ මානය යොබ්බනමද නම් වේ. යෞවන මදය, තරුණ මදය යන මේවා ද එහි නම් ය. වැඩි මහල්ලෝ බාලයන් විසින් ගරු කළ යුත්තෝ ය. රහත් භික්ෂුව විසිනුදු වැඩිමහල් පෘථග්ජන භික්ෂුවට ගරු කළ යුතු බව වැඳිය යුතු බව බුද්ධ නියමය ය. යෞවන මදයෙන් මත්වූවෝ මහල්ලන්ට විසුළු කරමින් ඔවුනට කරදර කරති. එය මහත් පාපයකි. ගුණවත් මහල්ලන්ගේ සිත් රිදවන තරුණයන්ට සමහර විට එයින් වන අනිෂ්ඨ විපාක මෙලොවදීමත් ලැබෙන්නේ ය. වැඩිමහල්ලෝ ද එක්තරා පූජනීය කොට්ඨාසයකි. එබැවින් ඔවුනට ගරු කළ යුතු ය. වැඩිමහල්ලන්ට ගරු කිරීමේ අනුසස් මෙසේ වදාරා ඇත්තේ ය.

යේ වුද්ධ මපචායන්ති - නරා ධම්මස්ස කෝවිදො.

දිට්ඨෙව ධම්මේ පාසංසා - සම්පරායේ ච සුග්ගති.

(ජාතක පාලි)

වැඩි මහල්ලන්ට ගරු කිරීමට දන්නා වූ අය යම් මිනිස් කෙනෙක් වෘද්ධයන්ට ගරු බුහුමන් කෙරෙත් ද ඔවුහු ඉහත ආත්මයෙහි ප්‍ර‍ශංසා ලබන්නෝ ද මරණින් මතු සුගතියෙහි උපදින්නෝ ද වෙත්ය යනු එහි තේරුම ය.

තරුණ මදය දෙලොව ම පිරිහීමට හේතුවන නපුරු මදයකි. තරුණ මදයෙන් මත්වූවෝ කාරුණික වූ ද හිතකාමී වූ ද මාපියන්ගේ අවවාද අනුශාසනයන් නො පිළිගනිති. ඕවා මහල්ලන්ගේ මෝඩ අදහස් ය කියා අවමන් කර ධර්මය නො පිළිගනිති. ඔවුහු ඕනෑ නීච ක්‍රියාවක් කිරීමට ලැජ්ජා නො වෙති. සොරකම් ආදි නීච ක්‍රියා දස්කම් ලෙස සලකති. ඕනෑ ම අපරාධයක් කිරීමට බිය නො වෙති. එයින් ඔවුහු මෙලොවත් පිරිහී මරණින් මතු අපායට ද යති.

5. ජීවිතමදෝ

සෙස්සෝ මද ආයුෂයකින් ම මැරෙන්නාහ. මම බෝ කල් ජීවත් වූයෙමි. මතු ද බෝ කලක් ජීවත් වන්නෙමියි ජීවිතය සම්බන්ධ මුලාවෙන් යුක්ත අධික මානය ජීවිත මද නම් වේ. ජීවිත මදය ඇත්තේ කුමක් හෝ කොට මෙලොව පස්කම් සුව විඳීමට බලාපොරොත්තු වනවා මිස පරලොව ගැන නො සිතයි. ඔහු මෙලොව සැප ලැබීම සඳහා නොයෙක් පව්කම් කොට කිසි පිනක් නො කොට මරණින් පසු අපායට පැමිණෙන්නේය. ජීවිතමද ඇති වන්නේ බුදු දහම නො දැනීම නිසා ය. දහම් සේවනය නොකිරීම නිසා ය. ඒ මදය දුරු වීමට ඇති එක ම බෙහෙත බුදු දහම ය.

ජීවිතය අති දුබලය. විනාඩි ගණනක් වුව ද පැවතිය හැකි ශක්තියක් එයට නැත. අසවලාගේ ජීවිතය මෙපමණ කලක් පවතිනවා ය කියා සහතිකයක් කිසිම ජීවිතයකට නැත. ජීවිතයක් ඇතහොත් මරණය ද ඇත්තේ ය. මරණය නැති ජීවිතයක් නැත. මරණය නැත්තේ ජීවිතයක් ද නැති නිවනෙහි පමණෙකි. ජීවිතය ඇති වූ දා පටන් ම මරණය එයට සම්බන්ධව පවතී. ජීවිතය මරණය යන දෙක දෙපටකින් ඇඹරූ කඹයක් සේ සැලකිය හැකිය. දෙපොටකින් ඇඹරූ කඹයෙහි සැම තැනම එක පොටක් අනෙක් පොටෙහි වෙලී පවතින්නාක් මෙන් ජීවිත මරණ දෙක ඔවුනොවුන් එකට වෙලී පවතී. ජීවිතයක් දින ගණනක් වුව ද පවතින්නේ එහි ශක්තියෙන් නොව ආහාරාදීන්ගේ අනුග්‍ර‍හයෙනි. ආහාර ගන්නේ, ආහාරයේ අනුග්‍ර‍හය නැතිනම් ජීවිතයට පැවතිය නොහෙන බැවිනි. ජීවිත මදයෙන් මත්ව සිටින අඥයා ආහාර ගනිතත් එය කරන්නේ කුමට ද යන බව ඔහුට නො දැනේ. ආහාර ලද පමණින් ම ද ජීවිතය නො පැවතිය හැකිය. එයට බොහෝ අන්තරාය ඇත්තේ ය. ජීවිතය පිට්ටනියක් මැද දැල්වෙන පහන් සිළුවක් බඳුය. පිට්ටනියේ දැල්වෙන පහන් සිළුව කිනම් දිසාවකින් සුළඟ ආයේ ද නිවෙයි. සතකු පැන්නේ ද නිවෙයි. එසේ ම ජීවිතයට හැම දිසාවකින් ම පැමිණෙන අනේකාන්තරාය ඇත්තේ ය. සත්ත්වයා වටේට ජීවිත නාශක හේතූන් පිරී ඇත්තේ ය. ශරීරය තුළ ද ඇත්තේ ය. සමහර විට දිවි පවත්වා ගැනීමට අනුභව කරන ආහාරය ද දිවි නසයි. දිවි පවත්වා ගැනීමට බොන වතුර ටික ද දිවි නසයි. රෝගය සුව කර ගැනීමට ගන්නා බෙහෙත ද දිවි නසයි. ශරීරයේ වෙසෙන පණුවෝ ද ජීවිතය නසති. ශරීරයේ ඇති වා - පිත් - සෙම් යන මේවා ද කිපුණු විට ජීවිතය නසයි. මෙසේ ජීවිතය අනේකාන්තරායයන් මැද පවත්නා බැවින් මම නො මැරෙන්නෙමිය බෝ කල් ජීවත් වෙමි යයි සිතීම ඉමහත් අනුවණකමක් බව දත යුතුය. ඇතැමකුට ආරෝග්‍ය මද යෞවනමද ජීවිතමද යන තුනම ඇති වේ. එසේ වීම ඉතා නපුරු ය.

6. ලාභමදෝ

ලාභය නිසා ඇතිවන කළ යුත්ත නො කළ යුත්ත නො දැන මෝහයෙන් යුක්ත වන බලවත් මානය ලාභමද නම් වේ. ඇතැම් භික්ෂූහු අල්ප ලාභීහු ය. සෑහෙන පමණට ආහාර පානාදිය නො ලබන්නෝ ය. මිනිසුන් පැහැදවීමට සමත් වූ ඇතැම් භික්ෂූහු මහා ලාභීහු ය. බොහෝ ප්‍ර‍ත්‍යය ලබන්නෝ ය. බොහෝ ප්‍ර‍ත්‍යයන් ලබන ඇතැම් භික්ෂූන්ට බොහෝ ප්‍ර‍ත්‍යය නො ලබන භික්ෂූන් පහත් කොට තමන් උසස් කොට ගන්නා මානය ඇති වේ. එය දියුණුවීමෙන් ලාභමද නම් වූ මත්වීම ඇතිවේ. ඇතැමුන්ට දිවි පැවත්වීමට සෑහෙන පමණට ද යමක් නො ලැබේ. ඇතැමුන්ට බොහෝ ධනය ලැබේ. ඇතැමුන්ට ඇත්තේ යමක් ලැබීමට එක් මගක් පමණෙකි. ඇතැමුන්ට ලැබේ මං බොහෝ ඇත්තේ ය. රැකියාවක් ද ඇත්තේ ය. වතු ද ඇත්තේ ය. කුඹුරු ද ඇත්තේ ය. ගෙවල් ද ඇත්තේ ය. වෙළඳාම් ද ඇත්තේ ය. නොයෙක් මාර්ග වලින් බොහෝ ලබන්නන්ට මඳ ලාභ ඇතියවුන් පහත් කොට සිතන තමා උසස් කොට සිතන මානය ඇති වී, එය වැඩී ලාභමදය ඇති වේ.

7. සක්කාරමදෝ

හොඳ හොඳ උසස් උසස් දේ ලැබීම නිසා ඇති වන, මුළා කරවන අධික මානය සක්කාර මද නම් වේ. ඇතැම් භික්ෂූන්ට ගිහියෝ වැඩි සැලකිල්ලකින් දන් නො දෙති. ජනයා පැහැදවීමට සමත් ඇතැම් භික්ෂූන්ට ඉතා ප්‍ර‍ණීතවත් ලෙස පිළියෙල කර දන්දෙති. වටිනා සිවුරු දෙති. ඇඳ පුටු මේස ආදි වටිනා භාණ්ඩ දෙති. ප්‍ර‍ණීත ආහාර පානයන් හා වටිනා භාණ්ඩයන් ලබන්නා වූ ඇතැම් භික්ෂූන්ට ප්‍ර‍ණීත දෑ නො ලබන භික්ෂූන් සුළු කොටත් තමන් උසස් කොටත් සිතන මානය ඇති වී එයින් මත් වේ. ගිහියන් අතුරින් ද ඇතැම්හු හොඳ ආහාර ඇඳුම් වාසස්ථාන නො ලබන්නෝ ය. ඇතැම්හු ප්‍ර‍ණීත ආහාර පානයන් ඇති ව වටිනා ඇඳුම් පැලඳුම් ඇති ව ඉඩකඩ ඇති ලස්සන ගෙවල් ඇතිව, හොඳ රථවාහන ඇති ව සැපසේ ජීවත් වන්නෝ ය. ඔවුන් ගෙන් ඇතමුනට සත්කාර මදය ඇති වේ. ලාභමදය හා සත්කාරමදය නිසා ඇතැම්හු ලාභ සත්කාරයෙන් පිරිහෙති.

ලාභය සත්කාරය යන මේ දෙක විශේෂයෙන් ගිහිපැවිදි කවුරුනුත් මත් කරවන කරුණු දෙකකි. භික්ෂූන්ට ලාභය සත්කාරය ඉතා නපුරු කරුණු දෙකක් බව බුදුන් වහන්සේ විසින් අනේකාකාරයෙන් නොයෙක් උපමායෙන් දේශිත සූත්‍ර‍ බොහෝ ගණනක් සංයුක්තනිකායේ ලාභසත්කාර සංයුත්තයේ එන්නේය. අසනිචක්කන්ති භික්ඛවෙ ලාභසක්කාරසිලෝක්සේතං අධිවචනං යනුවෙන් ලාභය සත්කාරය කීර්තිය යන මේ කරුණු තුන භික්ෂුවට හෙණයකැයි වදාරා ඇත්තේය. මහත් දරුණු දෙයකැයි ද වදාරා ඇත්තේ ය. එබැවින් ලාභසත්කාරය ලබන භික්ෂූන් ඒවාට ගිජු නො වී ඒවායින් මත් නො වන සේ පිළිපැදිය යුතු ය.

8. ගරුකාරමදෝ

අන්‍යයන්ට කිසිවකු විසින් ගෞරවයක් සැලකිල්ලක් දක්වන්නේ නැත. මා හට වනාහි දුටු දුටු සැම දෙන ම ගරු කරති. සලකති යි මහජනයාගෙන් ගෞරව ලබන ඇතැම් ගිහියන්ට ඇතිවන අන්‍යයන් පහත් කොට තමන් උසස් කොට ගන්නා වූ අධික මානය ගරුකාරමද නම් වේ. එයින් මත් වූයේ නිතර ම සැම තැනකදී ම අන්‍යයන්ගෙන් ගරු සැලකිලි බලාපොරොත්තු වේ. නොලැබෙන තැනදී දොම්නසට පත් වේ. ගරු නො කරන්නවුන්ට විරුද්ධ වේ. එයින් ඔහු ජනයාට අප්‍රිය බොහෝ දෙනා හෙළා දකින පුද්ගලයෙක් වේ. මෙබඳු පුද්ගලයන්ට කෛරාටිකයෝ බොරුවට ගෞරව දක්වා ප්‍රයෝජන ලබති.

9. පුරෙක්ඛාරමදෝ

කථාවෙහි දක්ෂ උගත් ධනවත් ක්‍රියාශූරත්වය ඇති පුද්ගලයන් පෙරටු කොට ගෙන ඔවුනට මුල් තැන දෙමින් මහජනයා වැඩ කරති. ජනයා විසින් මුල් තැන දෙන්නා වූ පෙරටු කර ගන්නා වූ අයට ඒ නිසා තමන් උසස් ය සෙස්සන් පහත් ය කියා මත්වීම් ආකාරයෙන් ඇති වන අධිකමානය පුරෙක්ඛාර මද නම් වේ. එයින් මත් වූයේ ගිය ගිය තැන ප්‍ර‍ධානත්වය බලාපොරොත්තු වේ. ප්‍ර‍ධානත්වය නො ලද හොත් දොම්නසට පත් වේ. ප්‍ර‍ධානත්වය සඳහා සටන් කරයි. ප්‍ර‍ධානත්වය නොලද තැන කටයුතු අවුල් කරන්නට උත්සාහ කරයි. එයින් ඔහු ජනයාට අප්‍රිය පුද්ගලයෙක් වේ.

10. පරිවාරමදෝ

පිරිවර ඇති බව නිසා සෙස්සන් පහත් කොට තමා උසස් කොට ගන්නා වූ මත් වීම ඇති අධික මානය පරිවාරමද නම් වේ. බොහෝ ශිෂ්‍යයන් දායකයන් ඇති ඇතැම් භික්ෂූන්ට හා බොහෝ දූදරුවන් සහෝදර සහෝදරියන් නෑ මිතුරන් ඇති ඇතැම් ගිහියන්ටත් මේ පරිවාර මදය ඇති වේ. පරිවාරමදයෙන් මත් වූවෝ තමන්ගේ පිරිස් බලය නිසා නොයෙක් පව්කම් කරති. සමහරවිට යම් යම් නොමනා කම්වලට, පිරිසේ සහයෝගය නො ලැබී යාමෙන් අමාරුවට පත් වෙති. පිරිසට අප්‍රිය ද වෙති.

11. භෝගමදෝ

ඇතැමකුට සෙට ආහාරවේල සපයා ගැනීමට තරම් මුදලක් අද නැත. මට වනාහි බොහෝ මුදල් ඇත්තේය. බොහෝ ගෙවල් වතු කුඹුරු වාහන ඇත්තේය. බොහෝ පරිභෝග භාණ්ඩ ඇත්තේයයි ධනය නිසා ඇතිවන මත් කරන අධික මානය භෝගමද නම් වේ. එයට ධන මදය යි ද කියනු ලැබේ. ධනය වනාහි අන් සෑම කරුණකට ම වඩා මිනිසා මත් කරවන දෙයකි. ධනවත්හු බොහෝ සෙයින් ධනමදයෙන් මත්ව සිටින්නෝ ය. කලින් දිළිඳුව සිට හදිසියෙන් ධනය ලැබුවෝ ධනයෙන් වඩාත් මත් වෙති. එබඳු අය මහා ධනයකින් නොව, මඳ ධනයකින් ද මත් වෙති. නොයෙක් විට ඒ මත් වීම නිසා ඔහු පමණ ඉක්මවා වියදම් කොට නැවතත් දිළිඳු බවට පත් වෙති. අන් කරුණු වලින් ඇති වන මදයට වඩා ධන මදය නපුරු ය. ධනමදයෙන් මත් වූවෝ සතුන් මැරීම පමණක් නොව මිනී මැරීම ද කෙරෙති. සුළු සොරකම් නොව මහ සොරකම් කරති. අධික ලෙස කාමයෙහි වරදවා හැසිරෙති. මහා වඤ්චා කරති. අධික ලෙස සුරා පානය කරති. ගරු කළ යුත්තන්ට ගරු නො කරති. අවමන් කරති. කාරුණිකයන් ගේ අවවාදානුශාසනයන් නො පිළිගනිති. ධනමදයෙන් මත් වූවන්ට ඉහත දැක්වූ ජාති මදාදි මද ද එකතු වේ. එබැවින් ඔවුන්ගේ මදය සන්සිඳවීමට දුෂ්කර මහා මදයක් වේ. මත් වී අධික ලෙස පව් කළා වූ ද, දරුණු පව්කම් කළා වූ ද, ඇතැම්හු ඒවායේ විපාක වශයෙන් මෙලොව ද බෝකල් දුක් විඳ මරණින් පසු නරකයට පැමිණෙති. ඇතැම්හු සතුරන් අතින් අකාලයේ මැරෙති. ඇතැම්හු කාමරෝග හා මත්පැනින් වන රෝග සාදාගෙන බොහෝ දුක් විඳ අකාලයෙහි මියෙති. ධනය මනුෂ්‍යයාට අත්‍යාවශ්‍ය දෙයයකි. සැම දෙනා විසින් ම ධනය සපයා ගත යුතු ය. ධනයෙන් මෙලොව ලබන සියලු සැප ලැබිය හැකිය. පරලොව සැප ද ලැබිය හැකි ය. එහෙත් එයින් මත් වන නුසුදුසු පරිදි ධනය පරිහරණය කරන පුද්ගලයා මරා දමන්නේත් අපායට යවන්නේත් ඒ ධනය ය. දෙලෝ වැඩ කැමතියෝ මත් නොවී ධනය පරිහරණය කරන්නට දැන ගනිත්වා!

12. වණ්ණමදෝ

වර්ණය නිසා මත්වීම් ආකාරයෙන් ඇති වන අධික මානය වණ්ණමද නම් වේ. රූප ශෝභාව, ගුණය යන දෙකට ම වර්ණය යි කියනු ලැබේ. ස්ත්‍රීහු රූප ගරුකයෝ ය. තුමූ ලස්සනය කියා බොහෝ සෙයින් මත් වන්නෝ ස්ත්‍රීහු ය. ශරීරවර්ණයෙන් ප්‍රයෝජනය ජනප්‍රිය වීමයි. ජනාදරය ලැබීමයි. එහෙත් වර්ණයෙන් මත් ව සිටින කාන්තාව ජනයාට අප්‍රිය, ජනාදරය නො ලබන්නියක් වේ. සිල් ඇත්තියෙක, පන්ඩිතයෙක, කථිකයෙක, ලෝ සසුන් දෙකට වැඩ කරන්නෙක, කාරුණකයෙක, ත්‍යාගවන්තයෙක, මේ මේ දෙයට දක්ෂයෙක කියා කීර්තිය පතළ කල්හි, සෙස්සෝ නිර්ගුණයෝ ය, මගේ ගුණ රාශිය ලොව පුරා ඇත්තේ ය කියා ගුණ වර්ණය නිසා ඇති වන වර්ණමද, ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කාහටත් වෙනසක් නැතිව ඇති විය හැකි ය.

13. සුතමදෝ

අන්‍යයෝ නූගත්හුය, මම උගතෙක්මි ය, උපාධි ධරයෙක්මි යි කියා අන්‍යයන් පහත් කොට තමා උසස් කොට ගන්නා වූ අධික මානය සුතමද නම් වේ.

14. පටිභාණමදෝ

සෙස්සෝ මෝඩයෝ ය, තැනට සුදුසු සේ කථා කරන්නට ක්‍රියා කරන්නට නො දන්නෝ ය. මම වනාහි තැනට සුදුසු සේ කථා කරන්නට ක්‍රියා කරන්නට පැන නැගෙන කිනම් ප්‍ර‍ශ්නයක් වුව ද විසඳීමට සමතෙක් වෙමියි සෙස්සන් පහත් කොට තමා උසස් කොට ගන්නා මත් කිරීමට සමත් අධික මානය පටිභාණමද නම් වේ. මෙය පණ්ඩිතයන්ට හා ඇතැම් මෝඩයන්ටත් ඇති වන මදයෙකි. මෙසේ මත් වී සිටින මෝඩයෝ ලෝකයෙහි බහුල යැයි කිය යුතුය.

 

 

15. රත්තඤ්ඤුමදෝ

අන්‍යයෝ රටේ පැරැණි තොරතුරු කිසිවක් නො දන්නෝය, මම වනාහි මේ ගම්වල නගරවල පැරැණි තොරතුරු දනිමිය, මේ මිනිසුන් ගේ කුල පරම්පරාව දනිමිය, බුද්ධවංශ රාජවංශ ශාසනවංශයන් දනිමිය, ලෝකයේ නොයෙක් ජාතීන්ගේ ඉතිහාසය දන්නෙමියි සෙස්සන් පහත් කොට පැරැණි දෑ දැනුමෙන් තමන් උසස් කොට ගන්නා මත්වීම ඇති අධික මානය රත්තඤ්ඤුමද නම් වේ. මෙය ඇතැම් මහල්ලන්ට හා ඉතිහාසඥයන්ට ඇති වන මදයෙකි.

16. පිණ්ඩපාතිකමදෝ

පිණ්ඩපාතික භාවය නිසා තමා උසස් කොට අන්‍ය භික්ෂූන් පහත් කොට සැලකීම් වශයෙන් ඇතිවන මත්කරවන අධික මානය පිණ්ඩපාතිකමද නම් වේ. පිණ්ඩපාතික භෝජනයෙන් ජීවත් වීම බුදුන් වහන්සේ විසින් පසස්නා ලද උතුම් ගුණයෙකි. එහෙත් හැම කල්හි එසේ ජීවත් වීම පහසු නැත. එබැවින් බෙහෝ භික්ෂූහු සැදැහැතියන් ඔවුන්ගේ ගෙවලට වැඩම කරවා දෙන භෝජනයත් විහාරයට ගෙනවුත් දෙන භෝජනයත් පිළිගනිති. යම් භික්ෂුවක් එසේ දායකයන් දෙන දානයන් නො පිළිගනිමින් පිණ්ඩපාත භෝජනයෙන් ම ජීවත් වන්නේ නම් එය උසස් ගුණයෙකි. එසේ ජීවත්වන භික්ෂුවකට පිණ්ඩපාතිකමදය ඇති වුව හොත් එයින් ඔහුගේ ඒ උතුම් ගුණය බාල වන්නේ ය.

 

 

17. අනවඤ්ඤාතමදෝ

බොහෝ දෙන අන්‍යයන් විසින් පහත් කොට සලකනු ලබන්නෝ ය. අවමන් කරනු ලබන්නෝ ය. මම වනාහි කිසිවකුගෙන් අවමානයක් නො ලබමියි ඇතිවන අධිකමානය අනවඤ්ඤාතමද නම් වේ.

18. ඉරියාපථමදෝ

අන්‍යයන්ගේ ගමනාදි ඉරියව් අශෝභනය, අප්‍ර‍සාදනීය ය, මාගේ ගමනාදි ඉරියව් ශෝභනය, ප්‍ර‍සාදජනකය යි ඇති වන මානය ඉරියාපථමද නම් වේ.

19. ඉද්ධිමදෝ

අන්‍යයෝ පියාපත් සුන් කපුටන් සේ දුබලයෝ ය. මම මහා සෘද්ධි ඇතියෙක, මහානුභාව ඇතියෙක කියා ද, මා කරන සියල්ල ම හරි යන්නේ ය කියා ද තමාගේ සමත් බව නිසා ඇති වන අධික මානය ඉද්ධිමද නම් වේ.

20. යසමදෝ

සෙස්සෝ මා යටතේ වාසය කරන්නෝ ය. මම ඔවුන් හසුරුවන්නා වෙමි ය යි පිරිස්වල ප්‍ර‍ධානත්වය දරන පැවිද්දන්ට හා ගිහියන්ට ප්‍ර‍ධානත්වය නිසා ඇති වන අධික මානය යසමද නම් වේ.

 

21. සීලමදෝ

බොහෝ දෙනා දුශ්ශීලයෝ ය, මම සිල් ඇතියෙක්මි යයි ශීලය නිසා ඇතිවන අධික මානය සීලමද නම් වේ. මෙය පැවිද්දන්ට වඩාත් ඇතිවන මදයෙකි. ඒ මදය නිසා ඔහුගේ ශීලයේ අගය අඩු වේ. ශීලමදය ප්‍රාණවධාදි බලවත් පාපයන්ට හේතු නො වන නුමුත් දුශ්ශීලයෝ ය කියා අන්‍යයන්ට ගර්හා කිරීමේ පාපයට හේතු වේ. ශීලමදයෙන් මත් වූ ඇතැම්හු ඒ පාපය බෙහෙවින් කරති.

22. ඣානමදෝ

සෙස්සෝ විනාඩි කීපයක් වුව සිත එක් අරමුණක තබා විසීමට අසමර්ථයෝ ය. මම පැය ගණනක් සමාධියෙන් විසීමට සමත් වෙමි යයි සමාධිය නිසා ඇති වන මානය ඣානමද නම් වේ. මෙය පාපකර්මයක් වුව ද එතරම් හානිකර ධර්මයක් නො වේ. සමහරවිට එයින් ලබා ඇති සමාධියට බාධා විය හැකි ය.

23. සිප්පමදෝ

බොහෝ දෙනා නිසි ශිල්පයක් නො දන්නෝ ය. මම හොඳ ශිල්පයක් දනිමි ය, බොහෝ ශිල්පයන් දනිමිය කියා ශිල්පය නිසා උපදනා මත් කරවන මානය සිප්පමද නම් වේ.

24. ආරෝහමදෝ

සෙස්සෝ මිට්ටෝ ය, මම උස් වෙමියි අන්‍යයන් පහත් කොට තමා උසස් කොට සලකන මත් කරවන මානය ආරෝහමද නම් වේ.

25. පරිණාහමදෝ

අන්‍යයෝ පමණට වඩා උස් හා මිටි වන්නාහ. මම වනාහි උස් මිටිකම නැති සමප්‍ර‍මාණ ශරීරය ඇතියෙමි යි ඇති වන මත් කරවන මානය පරිණාහමද නම් වේ.

26. සණ්ඨානමදෝ

බොහෝ දෙනාගේ ශරීර සටහන අශෝභනය. භයානකය. මාගේ ශරීරය ශෝභනය යි සටහන සම්බන්ධයෙන් ඇති කරවන මත් කරවන මානය සණ්ඨානමද නම් වේ.

27. පාරිපූරිමදෝ

අන්‍යයන්ගේ ශරීරයෙහි බොහෝ දොස් ඇත්තේ ය. අඩු පාඩුකම් ඇත්තේ ය. මාගේ ශරීරයෙහි කිසි දොසක් නැතය යි මත්වීම් වශයෙන් ඇතිවන මානය පාරිපූරිමද නම් වේ.

28. මදෝ

ඉහත දැක් වූ ජාති මදෝ ගොත්තමදෝ යනාදි වචන වලින් හේතු සහිත ව සත්විස්සක් මද දක්වන ලදි. අනතුරුව මදය වෙන්කොට දැක්වීම සඳහා මදෝ යන මෙය නැවත වදාරන ලදි. කොතක් මෙන් කොඩියක් මෙන් තමා අතිශයින් උසස් කොට ගන්නා වූ හොඳ නරක - කළ යුත්ත නො කළ යුත්ත නො හඳුනන, ගරු කළ යුත්තන් නො හඳුනන සම්මෝහයෙන් යුක්ත වන බලවත් මානය මද නම් වේ. එයින් මත් වූවන්ට තමන් මත් වී ඇති බව නො දැනේ. ඔවුන් කරන කියන දේ දකින අසන නුවණැතියන්ට මොහු මෙනම් කරුණෙන් මත් වී සිටිය කියා දත හැකි වේ. සමහරුන්ට අන්‍යයන් විසින් පෙන්වා දුන් කල්හි තමන්ගේ මුළාව වැටහෙන්නේ ය. සමහරුන්ට අන්‍යයන් කීව ද නො වැටහෙන්නේ ය. එබඳු අයගේ මදය දුරු කිරීම අතිශයින් දුෂ්කරය. මේ මදය නොයෙක් පව්කම් වලට හා මෙලොව පරිහානියට ද හේතු වන ක්ලේශයකි.

29. පමාදෝ

සාමාන්‍ය ජන ව්‍යවහාරයෙහි ප්‍ර‍මාද වන වචනයෙන් කියැවෙන්නේ යම්කිසි කාර්‍ය්‍යයක් කළ යුතු අවස්ථාවේදී නො කළ හැකිවීමට හා නො කර හැරීමට ය. මෙහි පමාද යනුවෙන් කියැවෙන්නේ අකුශල ධර්ම රාශිය ය. ගසක නටුවෙන් එල්ලී පවත්නා ගෙඩිය ගසේ තිබෙන්නේ පොළොවට බරව ය. නටුයෙන් මිදුණු වහාම එය පොළවට වැටෙන්නේ ය. වනයෙන් බැඳ ගෙන ආ කුළු ගොනා රැහැන නිසා මිනිසුන් අතර සිටිය ද ඌ නිතරම සිටින්නේ වනයට යාමේ බලාපොරොත්තුවෙනි. එමෙන් පෘථග්ජන සිත ද නිතරම පවත්නේ පඤ්ච කාමයන්ට හා දුශ්චරිතයන්ට බරව ය. ඒවා වෙතට නැමී ගෙන ය. පඤ්චකාමයට හා දුසිරිතට නැමී බරවී ඇළ වී පවත්නා සිත සුසිරිතයෙහි පවත්නේ සිහියේ බලයෙනි. සිහිය නමැති රැහැනින් මිදුණු වහා ම සිත පඤ්චකාමයට හා දුසිරිතයට ඇදී යන්නේ ය. පඤ්ච කාමයට හා දුසිරිතට යන්නට නොදී සිත කුශල ක්‍රියාවෙහි බැඳගෙන සිටින, සිහිය නමැති රැහැන අප්පමාද නම් වේ. සිහියෙන් තොර වීම පඤ්චකාමයන් වෙත හා දුසිරිතට යන පරිදි සිත මුදා හැරීම පමාද නම් වේ. ආහාර පාන ඇඳුම් පැලඳුම් වතු කුඹුරු ගෙවල් රථවාහන ඇඳ පුටු පාරිභෝගික භාණ්ඩ, මුදල් යනාදිය කාම වස්තුය. ඒවා සැපයීම් ආරක්‍ෂා කිරීම් භුක්ති විඳීම් වශයෙන් ඒවායේ සිත පැවැත්වීම ප්‍ර‍මාදයයි. අඹු දරු නෑ මිතුරු ආදීහු ද කාම වස්තූහු ය. ඔවුන් කෙරෙහි සිත පැවැත්වීම ප්‍ර‍මාදය ය. දුසිරිතෙහි යෙදීමත් ප්‍ර‍මාදය ය. දානාදි කුශලයන් කළත් මැනවින් නො කරන බව ද, නොසැලකිල්ලෙන් යන්තමින් කරන ස්වභාවය ද ප්‍ර‍මාදය ය. සැම කල්හි කුශල ක්‍රියාවන්හි නො යෙදෙන ස්වභාවය ද ප්‍ර‍මාදය ය. කටුස්සා නැවති නැවතී ගමන් කරන්නාක් මෙන් කලින් කල නවත්ව නවත්වා කුසල් කරන ස්වභාවය ද ප්‍ර‍මාදය ය.

පමාදමනුයුඤ්ජනති - බාලා දුම්මෙධිනෝ ජනා.

අප්පමාදඤ්ච මේධාවී - ධනං සෙට්ඨංච රක්ඛති.

(ධම්මපද)

නුවණ නැත්තා වූ දෙලෝ වැඩ නො දන්නා වූ පුද්ගලයෝ ප්‍ර‍මාදයෙහි යෙදෙති. නුවණැත්තේ ශ්‍රේෂ්ඨ ධනයක් මෙන් අප්‍ර‍මාදය ආරක්‍ෂා කෙරේ.

30. ථම්භෝ

සිතෙහි, කණුවක් මෙන් කෙළින් සිටින දැඩිව සිටින නො නැමෙන ස්වභාවය ථම්භ නම් වේ. එය මානයේ ම ආකාර විශේෂයකි. ථම්භය ඇත්තේ ගරු කළයුත්තන්ට නො වඳී, නො නැමේ, අවවාදානුශාසනයන් නො පිළිගනී.

31. සාරම්භෝ

සැම දෙය ම අනුන් කළාට වඩා ඉහළින් කරන ස්වභාවය, අනුන්ට ඉහළින් සිටින කැමැත්ත සාරම්භ නම් වේ. මෙය ඒ ආකාරයෙන් පවත්නා මානය ම ය. සාරම්භය ඇත්තේ අනුන් එකක් කරනු දුටු විට තමා දෙකක් කරයි. අනුන් දෙකක් කරනු දුටු විට තමා තුන හතරක් කරයි. අනුන් එක ගෙයක් තනනු දුටු විට තමා ගෙවල් දෙකක් තනයි. අනුන්ට එක රියක් තිබෙනු දුටු විට තමා රිය දෙකක් සපයා ගනී. අනුන් එක කුඹුරක් වපුරනු දුටු විට තෙමේ කුඹුරු දෙකක් වපුරයි. අනුන් එක ඉඩමක් වගා කරනු දුටු වි තමා ඉඩම් දෙකක් වගා කරයි. එක් භික්ෂුවක් එක් නිකායක් උගෙන සිටිනු දුටු විට තමා ඔහුට ඉහළින් සිටිය යුතු යැයි නිකාය දෙකක් උගනී. අන් භික්ෂුවක් එක් පිටකයක් උගෙනු සිටිනු දුටු විට මා ඉහළින් සිටි යුතු යයි දෙපිටකයක් හෝ ත්‍රිපිටකය ම හෝ උගනී. ධර්මය ඉගෙනීම කුශලයක් වුව ද සාරම්භ වශයෙන් එසේ කිරීම අපායට මගකි. එක් භික්ෂුවක් එක් පිටකයක් උගෙන සිටින විට මා හට දෙපිටකයක් හෝ තුන් පිටකයම හෝ උගෙනීමේ ශක්තිය ඇතැයි සිතා උගෙනීම යහපති. කෙනකු මසකට වරක් දන් දෙනු දුටු විට මම ඔහුට ඉහළින් සිටීමට මසකට දෙවරක් දෙමියි දීම නො මැනවි. මසකට දෙතුන් වරක් දීමේ හැකියාව ඇතැයි දෙතුන් වරක් දීම මැනවි.

32. අත්‍රිච්ඡතා

අත්‍රිච්ඡතා යනු ලද දෙයින් සතුටු නො වන තමාට ඇති දෙයට වඩා අනුන් වෙත ඇති දෙය හොඳය සිතා අනුන් අයත් දෙයට ඇලුම් කරන ස්වභාවය ය. අත්‍රිච්ඡතාව ඇති පුද්ගලයා හට එක හැළියේ පිසූ බත වුව ද තමාට බෙදා ඇති බතට වඩා අනෙකාගේ භාජනයෙහි බත යහපත් යයි සිතෙන්නේ ය. ඇතැම් අත්‍රිච්ඡයෝ අනුන්ගේ දේ ලබන්නට ගොස් තමාට තුබූ දේ ද නැති කර ගනිති. මෙය ඇතැම් පැවිද්දන්ටත් ගිහියන්ටත් ඇත්තේ ය. තිරිසනුන්ට ද ඇත්තේ ය. මෙය සුනඛයන් අතර බෙහෙවින් දක්නා ලැබේ. සුනඛයන් කීප දෙනකුට එක විට කෑම දුන් කල්හි එකෙක් අනිකාගේ පංගුව වඩා හොඳ ඇතැයි සිතා එයට පැන පොර කයි. ඒ අතර උගේ පංගුව කපුටෝ කා යති. අත්‍රිච්ඡතාව නිසා ඌට තමාගේ පංගුව ද නැති වේ. ඇතැමුන් තමන් කරන රස්සාව හොඳ නැත පඩිය මදි යයි සිතා එය හැර අන් රැකියා සොයන්නට ගොස් අන්තිමේ දී කිසිවක් නැති ව තැවෙන්නේ මේ අත්‍රිච්ඡතාව නිසා ය. අත්‍රිච්ඡතාව ඇති පුද්ගලයාට තමාට ඇති දෙය කොතරම් හොඳ වුවත් අනුන් වෙත ඇති නරක දෙය වුව ද හොඳ සැටියට පෙනේ.

33. මහිච්ඡතා

කොතෙක් ලදත් කොතෙක් තිබුණත් සෑහීමට පත් නො වී තව තවත් සොයන මහා ලෝභය මහිච්ඡතා නම් වේ. එය ද ගිහි පැවිදි කාහටත් ඇති වන ක්ලේශයෙකි. තමා ගේ ගුණ ප්‍ර‍සිද්ධ කිරීමත්, එයින් කොතෙක් ප්‍ර‍ත්‍යය ලදත් සියල්ල පිළිගැනීමත්, පමණ ඉක්මවා ප්‍ර‍ත්‍යයන් පරිභෝග කිරීමත් මහිච්ඡතාව ඇති පැවිද්දාගේ ලක්‍ෂණයයි. තමාට ජීවත් වීමට සෑහෙන පමණ ධනය ඇතත් සෑහීමට පත් නොවී රෑ දාවල් දෙක්හි නැවතීමක් නැති ව දුක් විඳිමින් ධනය සැපයීමත්, පමණ ඉක්මවා පරිභෝජනය කිරීමත් ගිහියාගේ මහිච්ඡතා ලක්‍ෂණය ය. ජීවත් වීමට සෑහෙන ධනය සපයා ගත් තැනැත්තා විසින් කළ යුත්තේ පරලොවටත් පිහිටවනු පිණිස කුශල ක්‍රියාවන්හි යෙදීම ය. එහෙත් මහිච්ඡතාව ඇති පුද්ගලයාට එසේ නො කළ හැකි ය. ඔහු ගෙයක් තිබිය දී තවත් ගෙවල් සාදයිත ඉඩම් තිබිය දී තවත් ඉඩම් ගනී. කුඹුරු තිබිය දී තවත් කුඹුරු ගනී. වාහන තිබිය දී තවත් වාහන ගනී. ලක්‍ෂයක් ඇති කල්හි තව ලක්‍ෂයක් සෙවීමට වෑයම් කරයි. කෝටියක් ඇති කල්හි තවත් කෝටියක් සෙවීමට වෑයම් කරයි. මේ මහිච්ඡතාව ඇතියහුගේ ස්වභාවය ය. ඔහු කිසි කලෙක සෑහීමට පත් නො වේ. මැරෙන තුරු රැස් කරමින් සිට කිසි පිනක් නැතිව කලුරිය කොට ධනාශාවෙන් ප්‍රේතත්වයට හෝ පැමිණේ. තිරිසන් බවට හෝ නරකයට හෝ පැමිණේ. පරිභෝගය පිළිබඳ මහිච්ඡතාව ඇතියෝ පමණ ඉක්මවා ලැබෙන සියල්ල කා බී රෝගීහු වෙති. සමහර විට එයින් මැරෙති.

මේ මහිච්ඡතාව භික්ෂූන්ට ඉතා අයෝග්‍ය ක්ලේශයකි. මහිච්ඡතාව ඇතියහු කොතෙක් දී ද තෘප්තියට නො පැමිණවිය හැකි ය. එබැවින් මහිච්ඡතාව ඇති භික්ෂූන් කෙරෙහි දායකයෝ කලකිරෙති. කලකිරුණු දායකයෝ සමහර විට කලක් පවත්වා ගෙන ආ දීමනා ද නවත්වති. දෙන්නට සිතා සිටි දෙය ද නොදී හරිති. මහිච්ඡතාව පිළිබඳ කථා දෙකක් විභංග අටුවාවෙහි දක්වා ඇත. ඒ කථා මෙසේ ය.

පිටියෙන් තනන එක්තරා කෑම ජාතියකට කැමති භික්ෂුවක් විය. ඔහුගේ මව වස් කාලයක් සමීපයේ දී මාගේ පුතා පිළිගැනීමේ පමණ දන්නේ නම් ඔහුට වස් තෙමස මුළුල්ලෙහි ම පිටියෙන් පූ තනා දෙන්නට සිතුවා ය. මව් තොමෝ වස් එළඹෙන දිනයෙහි පුත්‍ර‍ භික්ෂුවට එක් පූවක් දුන්නී ය. භික්ෂුව එය අනුභව කෙළේ ය. ඉක්බිති අනිකක් දුන්නී ය. භික්ෂුව එයත් අනුභව කෙළේ ය. තුන්වෙනුව අනිකක් දුන්නී ය. භික්ෂුව එයත් පිළිගෙන අනුභව කෙළේ ය. මවු තොමෝ මොහු සෑහීමට පත් කළ හැකියෙක් නොවේ ය, මොහුට ඇත ිවන සැටියට පූ තනා දීම කළ හැකි වැඩක් නොවේ ය, මින් පසු මොහුට පූ තනා නො දෙමිය, මොහු තෙමසට ම කන පූ අද ම කෑයේ ය යි සිතා ගත්තා ය. ඉන් පසු ඒ භික්ෂුවට පිටි කෑම තනා දීම නො කෙළේ ය. මේ කථාවෙන් දැක්වෙන්නේ සෙස්සන්ට තබා වැදූ මවට ද මහිච්ඡතාව ඇති පුද්ගලයා අප්‍රිය වන බව ය.

තිස්ස නමැති රජතුමා සෑගිරියේ වෙසෙන සංඝයා හට දිනපතා මහා දානයක් දෙමින් සිටියේ ය. දිනක් ජනපද වැසියෝ මහරජ කුමක් නිසා එක් තැනකට ම දන් දෙන්නෙහි ද? අනික් විහාරවල භික්ෂූන්ට නොදිය යුතුදැයි කීහ. රජතුමා පසුදින අනුරාධපුරයේ මහා දානයක් පිළියෙල කරවා භික්ෂූන්ට දුන්නේ ය. පිළිගැනීමේ පමණ දන්නා එක් භික්ෂුවකුදු ඒ දානයට නො පැමිණියේ ය. එක් එක් භික්ෂුවක් පිළිගත් බත් හා කැවිලි දෙතුන් දෙනකු නැතිව ගෙන යා නො හැකි තරම් විය. රජතුමා පසුදින සෑගිරියේ සංඝයාට ආරාධනා කරවා දන් දුන්නේ ය. රජතුමා භික්ෂූන්ගෙන් පාත්‍ර‍ ඉල්ලීය. සෑහෙන පමණට අපි පිළිගනිමු ය කියා එක් භික්ෂුවකුදු පාත්‍ර‍ නුදුන්නෝ ය. ඒ භික්ෂූහු තමන්ට යැපීමට පමණට ආහාර පිළිගත්හ. ඉතිරි වී අහක යන ලෙස බොහෝ ආහාර නො පිළිගත්හ. භික්ෂූන් පිළිගත් ආහාර වලට වඩා ආහාර ඉතිරි වී තිබිණ. රජතුමා වැසියන් කැඳවා බලව්, ඊයේ දානයේ දී කිසිවක් ඉතිරි නොවී ය. අද ඉතිරි ආහාර බොහෝ ය. භික්ෂූන් පිළිගත් ආහාර මඳය යි පිළිගැනීමේ පමණ නො දත් භක්ෂූන් ගැන අප්‍ර‍සාදය පළ කෙළේ ය. එයින් රජු සෑගිරියේ භික්ෂූන්ට දිගට ම දන් දුන්නේ ය. පිළිගැනීමේ පමණ නො දත් භික්ෂූන්ට දන් දීම එක් දිනකින් ම අවසන් විය.

34. පාපිච්ඡතා

නැති ගුණ දැක්වීමේ ආශාව, නැති ගුණ දක්වා ගිහියන් පහදවා ප්‍ර‍ත්‍යයන් ලබා ගැනීමේ ආශාව පාපිච්ඡතා නම් වේ. මෙය පැවිද්දන්ට ඇති වන ක්ලේශයකි. ලාභ ප්‍රයෝජන ලබනු සඳහා නැති ගුණ පෙන්වන ගිහියන්ට ද මෙය ඇත. පාපිච්ඡතාව ඇති භික්ෂු තෙමේ තමා වත් පිළිවෙත් නො කරන කිසි ශ්‍ර‍ද්ධාවක් නැති ව සිට ම මිනිසුන් පැමිණෙන අවස්ථාවන්හි තමාගේ ශ්‍ර‍ද්ධාවත් බව දක්වා ඔවුන් රවටනු පිණිස පත්කඩක් ගෙන විහාර චෛත්‍ය බෝධි සමීපයේ හැසිරෙයි. සෑමලු බෝමලු හැමදීම කරයි, කසළ ඉවත් කරයි. බෝධියට පැන් වත් කරයි. මලසුන් පිරිසිදු කරයි. තමා භාවනා නො කරතත් භාවනා කරන ආසන, භාවනා කරන ස්ථාන, සක්මන්මලු පිළියෙල කර තබා ගනී. තමා සිල්වතකු නො වීම අන්‍යයන් හමුවෙහි මිනිසුන්ට ඇසෙන සේ විනය ගැන කථා කරයි. අන්‍යයන් කරන වරදවල් ගැන තමාගේ සංවේගය ප්‍ර‍කාශ කරයි. ශාසනයේ පිරිහීම ගැන කථා කරයි. ශාසනය දියුණු කිරීමේ වැඩ යෝජනා කරයි. තමා නූගතකු වුව ද උගත් බව පණ්ඩිත බව දැක්වීම පිණිස අහවල් පිරිවෙනට අහවල් විද්‍යාලයට මා පත් කර ගැනීමට කථා කළා ය. ඕවට ගියාම භාවනාවක් කරන්නටවත් අවකාශයක් නො ලැබෙන නිසා මා ගියේ නැත. දැනට පණ්ඩිතයෝ ය උපාධිධරයෝ ය කියා සිටින බොහෝ දෙනා ඔවුන් ගේ නොයෙක් ප්‍ර‍ශ්න විසඳා ගැනීමට පැමිණෙන්නේ අප වෙතය යනාදිය කියයි. තමා විවේකකාමියකු අල්පේච්ඡයකු බව හැඟවීම පිණිස නගරයක ගමක ජනාකීර්ණ පන්සලක වෙසෙමින් පැමිණෙන ජනයාට අපට වී ඇත්තේ මහ කරදරයෙක, මෙවැනි ජනාකීර්ණ තැන්වල විසීම අපගේ වැඩවලට බාධාවෙක, අපට වුවමනා ආරණ්‍යයක හෝ එවැනි විවේක ස්ථානයක හෝ විසීමය. එහෙත් මේ මිනිසුන් අපට එයට ඉඩ දෙන්නේ නැත. ඒ නිසා මෙහි රැඳී සිටින්නට සිදු වී තිබෙනවාය යි කියා මෙසේ මිනිසුන් පහදවා බොහෝ ප්‍ර‍ත්‍යයන් ලබා ගෙන ඒවා පමණ ඉක්මවා පරිභෝග කරමින් විසීම පාපිච්ඡ භික්ෂුවගේ ස්වභාවය ය. පාපිච්ඡතාව නපුරු පාපයෙකි. මෙකල රහත් බව අඟවන කුහකයන් ගැන අසන්නට ලැබේ. බොහෝ රහතන් විසූ අතීත කාලයේත් ඇතැම් කුහකයන් ප්‍ර‍ත්‍යය ලැබීම සඳහා නැති රහත්කම් ද මිනිසුන්ට ඇඟවූහ. විභංග අටුවාවෙහි පාපිච්ඡාවෙන් මඩනා ලදුව මිනිසුන්ට රහත් බව අඟවමින් විසූ කුහක භික්ෂූන් දෙදෙනකුගේ කථා දක්වා ඇත. ඒවා මෙසේ ය.

එක් කුහක භික්ෂුවක් ඔහු වෙසෙන කාමරයේ මහ සැළියක් වළලා තබා ගෙන මිනිසුන් එන විට එහි සැඟවෙයි. මිනිසුන් අවුත් හාමුදුරුවෝ කොහිදැ යි ඔහුගේ අනුචරයන්ගෙන් අසන විට හාමුදුරුවෝ කාමරයේ වැඩ සිටිති යි කියති. මිනිසුන් කාමරයට පිවිස බලා භික්ෂුව නොදැක පිටතට අවුත් එහි නැත ය යි කියති. ඒ හඬ ඇසෙන විට භික්ෂුව සැළියෙන් පිටතට අවුත් අසුනෙක්හි හිඳ ගනී. සෙස්සෝ මිනිසුන්ට හාමුදුරුවෝ කාමරයේමය යි කියති. මිනිස්සු නැවත කාමරයට පිවිස බලති. අසුනක ඉඳිනා භික්ෂුව ඔවුහු දකිති. මිනිස්සු භික්ෂුව දැක පුදුම වී නුඹ වහන්සේ දක්නට මඳකට කලින් අපි මෙහි පැමිණියෙමු ය. එහෙත් නුදුටුයෙමුය යි කියති. කුහක භික්ෂු තෙමේ තමා රහත් කෙනකැයි ඔවුන්ට ඇඟවීම සඳහා භික්ෂූහු රිසි රිසි තැන්වලට යන්නාහ. භික්‍ෂූන්ගේ ගමන් ගැන නො ඇසිය යුතුයයි කියයි. මිනිස්සු මේ හාමුදුරුවෝ සෘද්ධිමත් රහත් කෙනෙකැයි සිතා වඩ වඩා පූජා සත්කාර කරන්නාහ.

එක්තරා කුහක භික්ෂුවක් කඳු ගැටයක් මත පන්සලක වෙසෙයි. පන්සලේ පිටුපස ප්‍ර‍පාතයකි. ඒ නිසා ඒ පැත්තෙන් මිනිසුන්ට යාම ඒම නො කළ හැකි ය. කඳු බෑවුමේ වැවී තුබූ ගසක මුලක්, යට සම බිමට සම්බන්ධ වී පිහිටා තිබුණේ ය. කුහක භික්ෂුව පිණ්ඩපාතාදිය සඳහා තමාට ආරාධනා කරන්නට එන මිනිසුන් පිටත් කර යවා මම පසුව එන්නෙමියි කියා ඒ මුලේ එල්ලී කන්දෙන් බැස ඔවුනට පළමුව ගම දොරට ගොස් සිටී. මිනිසුන් විසින් නුඹ වහන්සේ අපට පෙර මෙහි පැමිණිායේ කෙසේදැයි අසන කල්හි පැවිද්දෝ තමන්ට රිසි මාර්ගවලින් යන්නාහ. ඒවා ගැන නො ඇසිය යුතුය යි කියයි. මිනිස්සු මුන්වහන්සේ රහත් කෙනෙකැයි සිතා වඩ වඩා පූජා සත්කාර කරති. කුහක මහණාගේ රහස දැනගත් අයෙක් රහසිගතව මුල කපා භික්ෂුව බස්නා කල්හි කඩා හැළෙන පරිදි මඳක් ඉතිරි කොට තැබීය. එදින් රහත් බව පෙන්වීමට ගිය කුහක භික්ෂුව ප්‍ර‍පාතයෙන් වැටී පාත්‍ර‍ය ද බිඳගෙන පලා ගියේ ය.

 

35. සිංගං

සිංග යනු සතුන්ගේ අංවලට ද නමෙකි. අඟක් සේ තියුණු බැවින් ද තද බැවින් ද අඟ අන්‍ය වස්තූන් සිදුරු කරන්නට පලුදු කරන්නට සමත් වන්නාක් මෙන් කුසලය සිදුරු කරන්නට පලුදු කරන්නට සමත් බැවින් රාගයට සිංග යයි කියනු ලැබේ. කෑමබීම අඩු වුවත් ශරීරය හා වාසස්ථානය සරසාගෙන සිටීමත් සුමිහිරි ව්‍යක්ත කථාව ඇති බවත් මේ සිංග නම් වූ රාගය අධික වූවහුගේ ලක්‍ෂණය ය. මෙය ධනාශාවට වඩා අනර්ථ දායකය. බොහෝ පැවිද්දන් පැවිද්ද කිලිටි කර ගන්නේත් පැවිද්දෙන් පහවන්නේත් මේ සිංග නම් වූ රාගය ඇති වීමෙනි. ධ්‍යානන ලබා අහසින් ගමන් කරන පැවිද්දෝ මේ සිංගය නිසා ධ්‍යානයෙන් පිරිහී පියාපත් සුන් පක්‍ෂීන් මෙන් බිම වැටෙති. බොහෝ තරුණ තරුණියෝ මේ රාගය නිසා සියදිවි නසා ගනිති. මද දැක්වීමෙහි දී මෙය නො කියවුවත් මෙය ද සත්ත්වයා අතිශයින් මත් කරවන උමතු කරවන ක්ලේශයකි. මනෝරථපූරණී අටුවාවෙහි එන කථාවක් මෙසේ ය:

මහාදාඨික නම් රජතුමා සෑගිරියේ අම්බස්තලයෙහි මහා සෑයක් කරවා ගිරිභණ්ඩවාහන පූජාව නම් මහා පූජාවක් කොට කලින් කල සෑගිරියට ස්ත්‍රීන් ද පිරිවරා ගොස් මහා දානයක් දෙයි. ඒ රජුට තරුණ වූ ඉතා දර්ශනීය සිරුර ඇති දමිළදේවී නම් දේවියක් වූවා ය. චිත්තත්ථෙර නම් වූ බුඩ්ඪපබ්බජිතයකුට ඇය දැකීමෙන් බලවත් ලෙස රාගය ඇති විය. ඒ මහණ යන යන තැන දමිළ දේවිය ගැන ම කියන්නට විය. ඒ නිසා ඔහුට උම්මත්තක චිත්තත්ථෙර යන නම ඇති විය. දමිළ දේවිය නොබෝ කලකින් කලුරිය කළා ය. භික්ෂු සංඝයා වහන්සේ ඇගේ මළ සිරුර දැකීමට ගොස් පැමිණි පසු සාමණේරයෝ චිත්ත ස්ථවිරයන් වෙත ගොස් ස්වාමීනි, ඔබ වහන්සේ නිතරම කියමින් සිටි දමිළ දේවිය කලුරිය කළාය. අපි ඇගේ මළ සිරුර දක්නට ගොස් පෙරලා ආවෙමු යි කීහ. එය නො අදහා චිත්ත ස්ථවිර උමතු කතා ම කියන්නට වූයේ ය. මේ මනෝරථපූරණියේ එන කතාව ය.

රාගයෙන් මත් වූවකුට නො කළ හැකි නීච වැඩක්, නො කළ හැකි පාපයක් නැත. රාගයෙන් මත්වූවෝ පරම අපවිත්‍ර‍ ස්ථානයන් සිඹිති. ලෙවකති. ලෝකාචාරය නො දැනී ගොස් පියවරු දූවරුන් හා ද පුත්තු මවුන් හා ද සහෝදරියෝ සහෝදරයන් හා ද අසද්ධර්මයෙහි යෙදෙති. ඇතැම්හු මාපියන් පවා මරති. එබැවින් මෙය භයානක ක්ලේශයෙකි. දුරු කිරීමට ද දුෂ්කර ක්ලේශයෙකි. රාගයෙන් මත් වූවෝ කිසිවකුගේ අවවාදානුශාසනයන් නො පිළිගනී. රාගය දුරු කර ගැනීමට ඇති අපාය නම් අශුභ භාවනාව ය.

36. තින්තිණං

ආහාර පාන වස්ත්‍රාදියට ලොල් බව තින්තිණ නම් වේ. බෙදන තැනදී මෙය මටය, මෙය නුඹටය, මෙය මාගේය, මෙය නුඹේය කියා පොර කෑම හා කෑ ගැසීම; කෑම ලබාගැනීමට නගුට වනමින් යටහත්කම දක්වමින් බලා සිටින සුනඛයා මෙන් ලැබෙන තැන ලැබෙන තුරු යටහත් ව බලා සිටීම, හොඳ හොඳ දෙය බලාපොරොත්තු වීම තින්තිණ නම් ක්ලේශයේ ලක්ෂණය ය.

37. චාපල්‍යං

කියන දෙය වරින් වර වෙනස් කරන වරින් වර එක එක අතට හැරෙන වාසි පැත්ත සොයන ස්ථිරගති නැති අයට ලෝකයෙහි චපලයෝය යි කියති. මෙහි චාපල්‍යං යන වචනයෙන් දක්වන්නේ ඒ අර්ථය නො වන බව දත යුතුය. මේ ක්ලේශ දක්වන තැන අදහස් කරන්නේ ශරීරය හා පරිභෝග කරන වස්තූන් ද වාසස්ථාන ද සරසා ගැනීමේ ආශාවය. මෙය ගිහි පැවිදි කාහටත් ඇතිවන ක්ලේශයකි. ගිහි කාමභෝගීහු නොයෙක් ඇඳුම් පැලඳුම් වලින් ශරීරය සරසති. වාසස්ථාන සරසති. පාරිභෝගික භාණ්ඩ සරසති. එයින් ඔවුනට කෙලෙස් වැඩේ. කෙලෙස් බැහැර කිරීමට මහණදම් පුරන පැවිද්දන් චාම් ලෙස ජීවත් විය යුතුය. ශරීරය හා චීවරාදිය පිරිසිදුව තබා ගැනීම පමණක් කළ යුතුය.

38. අසභාගවුත්ති

අනුකූල විය යුතු සැලකිය යුතු ගරු කළ යුතු මාපිය ගුරුවරාදීන්ට අනුකූල නොවන ස්වභාවය අසභාගවුත්ති නම් වේ. මෙය ඒ ආකාරයෙන් ඇති වන මානය හා ද්වේෂය ය. අසභාගවුත්තිතාවෙන් යුක්ත වන පුද්ගලයාට මාපියන්ට නො සලකා සිටීම විරුද්ධව සිටීම මිහිරකි. මෙය ඉතා පහත් අසත්පුරුෂ ලක්ෂණයෙකි. එයින් යුක්ත වූ පාපී පුද්ගල තෙමේ මව හෝ පියා හෝ සහෝදරයෙකු හෝ සහෝදරියක හෝ අන් සැලකිය යුත්තකු හෝ ගිලන් වුව ද පැත්තවත් නොබලයි. පියා අයත් දෙය සම්බන්ධයෙන් මව හා කෝලාහල කරයි. මව අයත් දෙය සම්බන්ධයෙන් පියා හා කෝලාහල කරයි. මාපියන් අයත් දේ සම්බන්ධයෙන් සහෝදර සහෝදරියන් හා කෝලාහල කරයි. මාපියන්ට නො වඳී. ඔවුන් දුටු විට හුනස්නෙන් නො නැගිටී. මාපියන් බිම සිටියදී අසුනෙහි හිඳී. මාපියන් නීචාසනයේ සිටියදී තමා උසස්නෙහි හිඳී. මාපියන්ගේ වැඩ වලට සහාය නොවේ. මාපියන් පහත් කොට සලකයි. අසභාගවුත්තිතාව ඇති පැවිද්දා ද ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් ගිලන් වුව ද හැරී බැලීමකුදු නො කර යයි. විහාරයේ වෙසෙන අනිකකු ගිලන් වුව ද එසේ ම කරයි. ආචාර්‍ය්‍යයෝපාධ්‍යායයන්ට හා වැඩිමහලු භික්ෂූන්ට නො වඳී. විහාරයට චෛත්‍යයට බෝධියට ගරු නො කරයි. සෑ මලු බෝ මලුවලට වහන් පයලා ගමන් කරයි. කුඩා ඉසලා ගමන් කරයි. සංඝයාට ගරු නො කරයි.

මා පියන් බොහෝ දුක් විඳ බොහෝ වෙහෙසී දියුණු කළ ඇතැම් දරුවෝ තමන් උසස් තත්ත්වයකට පැමිණි පසු මම දැන් මවුපියන්ට වඩා උසස් තත්ත්වයක සිටිමි ය, ඔවුන්ගෙන් මට වැඩක් නැත කියා මාපියන් පහත් කොට සලකමින් හැසිරෙති. ඇතැම් පැවිද්දෝ ද ගුරුවරුන් ගේ ආධාරයෙන් උසස් තත්ත්වයට පැමිණි කල්හි දැන් මම ගුරුවරයාට වඩා උසස් තත්ත්වයක සිටිමියි ගුරුවරුන් නොසලකා හරිති. මහලුව දුබලව සිටින ගුරුවරුන්ට අවමන් කරති. ගුරුවරයා තමා යටතට ගන්නට තැත් කරති. මාපියන් ගුරුවරුන් තමන් යටතට ගන්නට තැත් කිරීම ඔවුනට ගරු නො කිරීම මෙලොව ද පිරිහීමට හේතු වන බලවත් පාපයෙකි.

දරුවෝ මාපියනට ප්‍රියයෝ ය. දරුවා ගැන මාපියන් ගේ සිත්හි ඇතිවන ඒ ප්‍රියත්වය කුශල ධර්මයක් නො වේ. එය රාග නමැති ක්ලේශය ය. දරු සුරතලය මාපියන්ට මිහිරකි. කැවීම් පෙවීම් නෑවීම් හැඳවීම් පැළඳවීම් ආදියෙන් දරුවන්ට සත්කාර කිරීමත් මාපියන්ට මිහිරකි. ඒ සියල්ල ම කෙරෙන්නේ රාග නමැති ක්ලේශයෙන් ම ය. එහෙත් දරුවන් විසින් මා පියන්ට ගරු කළ යුතුය. බුදුසස්නෙහි මහතෙරවරුන් ගෝලයන් ඇති දැඩි කරන්නේ ගෝලයන් දියුණු කරන්නේ රාගාදි යම්කිසි ක්ලේශයකින් නොව මෛත්‍රී කරුණාදි කුශල ධර්මවලිනි. එබැවින් මාපියන්ට ද වඩා ගුරුවරුන්ට ගරු කළ යුතුය. එබැවින් බුදුසස්නෙහි දෙවැනි තැන ලබා සිටි ශ්‍රාවකයන්ගෙන් මුල් තැන ලබා සිටි උසස් ම බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ වන සැරියුත් මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේට බුදුසස්නට ඇතුළු වීමට මුලින් ම මග පෙන්වූ ගුරුවරයා වන අස්සජි තෙරුන් වහන්සේට දිනපතා වැඳීම කළහ. අස්සජී තෙරුන් වහන්සේ නැති තන්හිදී උන්වහන්සේ වැඩ සිටින දිශාවට හැරී වැඳ ඒ දිශාවට ම හිස ලා ශයනය කළහ. මෙය භික්ෂූන් විසින් ආදර්ශයට ගත යුතු කරුණෙකි.

මාපියන්ට ගුරුවරුන්ට අනුකූල පැවැත්මක් නැතිව ඔවුන්ගේ සිත් රිදවන අයට එයින් වන අනිෂ්ඨ විපාක මෙලොවදීමත් නොයෙක් විට විඳින්නට සිදු වේ. එසේ කරන අසත්පුරුෂයන්ව සත්පුරුෂයෝ පිළිකුල් කෙරෙති. ඔවුහු ජනයාට අප්‍රියයෝ වෙති. අනුන්ගෙන් උපකාර වුවමනා අවස්ථා කාහටත් එළඹේ. අනුන්ට අනුකූල පැවතුම් නැති උඩඟු පුද්ගලයා එබඳු අවස්ථාවක් පැමිණි විට තනි වේ. එබඳු පුද්ගලයන්ට උපකාරයට කිසිවෙක් ඉදිරිපත් නො වෙති.

39. අරති

ආරණ්‍ය සේනාසනයන්හි හා විවේකස්ථානයන්හි විසීම ගැනත්, ශමථවිදර්ශනා භාවනාවන්හි යෙදීම ගැනත් ශීලය සම්පූර්ණ කිරීම ගැනත් පැවිද්දන්ට ඇති වන අප්‍රියතාව හා ශීලසමාදාන භාවනා ආදිය පිළිබඳ ව ගිහියන්ට ඇතිවන නො සතුටත් අරති නම් වේ. එය ඒ ආකාරයෙන් ඇති වන සූක්ෂම ද්වේෂය ය.

40. තන්දි

වත් පිළිවෙත් කිරීම් භාවනා කිරීම් ආදි කුශල ක්‍රියාවන්ට අලස බව තන්දි නම් වේ. මෙයින් කියනුයේ රෝගාදිය නිසා ඇතිවන කයේ අලස බව නොව ක්ලේශයන් නිසා සිතෙහි හටගන්නා අලස බව ය.

 

41. විජම්භිතා

කය පණ නැති කරන ඉස්සරහට පස්සට දෙපසට ඇළ කරන අමාරුවෙන් නැගිටවන අලස බව විජම්භිතා නම් වේ.

42. භත්ත සම්මදෝ

පමණට වඩා ආහාර ගැනීම නිසාත්, අපථ්‍යාහාර ගැනීම නිසාත් ශරීරයේ ධාතු කෝපයෙන් හට ගන්නා වූ අලස බව භත්තසම්මද නම් වේ. මෙය ද ආහාර හේතුවෙන් ඇති වන ථීනමිද්ධය ම ය.

43. චේතසෝ ලීනත්තං

සිතෙහි අලස බව චේතසෝ ලීනත්තං නම් වේ. එයත් ථීනමිද්ධය ම ය. එය ඇති කල්හි සිත හැකිලෙයි. ක්‍රියාවන්හි යෙදීමට නො සමත් වෙයි. ක්‍රියාවෙහි යෙදෙන්නේ ද ඉතා සෙමින් නවත්ව නවත්වමින් ක්‍රියා කරයි. නිදිමත වැඩිවෙයි. තන්දි විජම්භිතා හත්තසම්මද චේතසෝලීනත්ත යන මේ ක්ලේශයෝ වීර්‍ය්‍යයට විරුද්ධ වූවෝ ය. ශිෂ්‍යයන්ට උගෙනීමට ද, රැකියා කරන්නවුන්ට දියුණුවට ද, යෝගීන්ට යෝගයට ද බාධකයෝ ය.

44. කුහනා

කුහනා, ලපනා, නේමිත්තිකතා, නිප්පේසිකතා, ලාභේන ලාභං නිජිගිංසනතා යන මේවා පැවිද්දන්ට ඇති විය හැකි ක්ලේශයෝ ය.

ලාභ සත්කාර කීර්ති ප්‍ර‍ශංසා ලබනු පිණිස ප්‍ර‍ණීත චීවර පිණ්ඩපාතාදිය පරිභෝග නො කොට නො වටනා රූක්ෂ චීවර පිණ්ඩපාතාදිය පරිභෝග කිරීමෙන් ද, ධ්‍යානාභිඥා මාර්ගඵල යන උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇතියෙකැ යි හැඟෙන ලෙස කතා කිරීමෙන් ද, එසේ හැඟෙන ලෙස ගමනාදි ඉරියව් පැවැත්වීමෙන් ද ජනයා විස්මයට පත් කිරීම රැවටීම කුහනා නම් වේ.

ඇතැම් කුහක භික්ෂූහු ගිහියන් සිවුරු පූජා කරන්නට දන් දෙන්නට ආවාස පන්සල් කරවන්නට කථා කළ හොත් ඔවුන් රවටා වඩ වඩා ලබා ගන්නා අදහසින් හොඳ ඇඳුම් ප්‍ර‍ණීත ආහාර හොඳ ගෙවල් වුවමනා කාමභෝගී ගිහියන්ට ය. මහණදම් පුරන අපට, කෙබඳු සිවුරක් තිබුණත් ඇතය, මේ සිවුරු අපට හොඳය තවත් අපට සිවුරු වුවමනා නැත, අපට ගෙදොරක් පාසා සිඟා ගොස් ලබන පිණ්ඩපාත භෝජනය ඇත, තවත් දාන වුවමනා නැත, අපට කොහිත් විසිය හැකිය, වටිනා ආවාස පන්සල්වල විසීමෙන් කෙලෙස් වැඩෙනවා ය, අපට කැලෑවක ගසක් මුල හෝ ගුහාවක අතුපැලක විසීම වඩා හොඳය කියා ප්‍ර‍ත්‍යයන් ප්‍ර‍තික්ෂේප කරති. හොඳ ඇඳුම් පැළඳුම් ආහාර පාන යාන වාහන ගෙවල් ඇති ව සැපසේ ජීවත් වන්නන් ගැන බොහෝ දෙනාට ඇති වන්නේ ඊර්ෂ්‍යාව ය. ඔවුනට ප්‍ර‍ත්‍යයන් ප්‍ර‍තික්ෂේප කරන භික්ෂුව ගැන ඇති වන්නේ සතුටෙකි. ඔවුහු ප්‍ර‍ත්‍යය ප්‍ර‍තික්ෂේප කරන පැවිද්දාගේ අභ්‍යන්තරය ගැන නො දන්නා බැවින් මුන් වහන්සේ අන්‍ය භික්ෂූන්ට වඩා ගුණවත් උත්තමයෙක, දන් දිය යුත්තේ උපස්ථාන කළ යුත්තේ මෙබඳු උත්තමයන්ට යයි සිතා නැවත නැවතත් දන් දෙන්නට පූජා සත්කාර කරන්නට කථා කරති. එකල්හි කුහක භික්ෂුව මෙසේ බණ කියයි. ශ්‍ර‍ද්ධාව ය, දීමට වස්තුව ය, සුදුසු ප්‍ර‍තිග්‍රාහකයෝ ය යන මේ තුන සම්මුඛ වීමෙන් ශ්‍ර‍ද්ධාවත් කුල පුත්‍ර‍යා බොහෝ පින් රැස් කර ගන්නේ ය යි බුදුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. මේ පින්වතුන්ට අඩුවක් නැතිව ශ්‍ර‍ද්ධාව ඇත්තේ ය. දීමට ධනය ද ඇත්තේ ය. නැත්තේ පිළිගැනීමට ප්‍ර‍තිග්‍රාහකයන් ය. අප මේ පින්වතුන් දෙන දානය නො පිළිගත හොත් මේ පින්වතුන් කරන පූජා සත්කාරයන් නො පිළිගත හොත් මේ පින්වත්හු පිනෙන් පිරිහෙන්නාහ. එබැවින් මේ පින්වතුන්ගේ යහපත පිණිස අපි මින් පසු සැදැහැවතුන් දෙන ප්‍ර‍ත්‍යයන් පිළිගන්නෙමුයයි කියයි. එයට සතුටු වන ගිහියෝ ඉන් පසු ඔහු වෙත ආහාර පානයන් ගොඩ ගසති. පිරිකර ගොඩ ගසති. ඔහුට විසීම සඳහා බොහෝ ගිහියන්ට ද නැති තරමේ, සුවපහසු ඇති ලස්සන ගෙවල් තනා දෙති. ඉන්පසු කුහක මහණ එහි වෙසෙමින් සුවසේ කල් යවයි. මේ ප්‍ර‍ත්‍යය ප්‍ර‍තික්ෂේප කිරීමෙන් බොහෝ ප්‍ර‍ත්‍යය ලබා ගන්නා ආකාරය ය.

තමා කෙරෙහි නැති උත්තරී මනුෂ්‍ය ධර්ම නම් වූ ධ්‍යාන අභිඥා මාර්ගඵල ධර්මයන් ඇති බව ප්‍ර‍කාශ කළ හොත් එයින් භික්ෂුව පරිජි ඇවතට පැමිණේ. ඇත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මය වුව ද අනුපසම්පන්නයකු කිවහොත් පචිති ඇවැත් වේ. කුහක භික්ෂුව ඇවැත්වලට අසු නොවන පරිදි තමා උත්තරීමනුෂ්‍ය ධර්ම ඇත්තකු සේ ගිහියන්ට හැඟෙන පරිදි වටින් පිටින් කතා කරයි. ධ්‍යානලාභී සෘද්ධිබල ඇතියෝ අප වැනි අය ම ය. මෙවැනි සිවුරු පොරවා සිටින අය ය. මෙවැනි තැන්වල වෙසෙන අය ය. අපගේ උපදෙස් අනුව ධ්‍යාන ලබා සිටින අය, සෝවාන් වී සකෘදාගාමී වී අනාගාමී වී රහත් වී සිටින අය බොහෝ ඇත්තාහ. අප ආචාර්‍ය්‍යයන් වහන්සේගේ ශිෂ්‍යයෝ බොහෝ දෙනෙක් ධ්‍යානලාභීහු ය. සෝවාන් පුද්ගලයෝ ය, සකෘදාගාමීහුය, අනාගාමීහුය, රහත්හුය යනාදීන් ගිහියන් හමුවෙහි කථා කරයි. එය අසන ගිහියෝ මුන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නො වෙතිය, මුන්වහන්සේත් උසස් තත්ත්වයක් ඇති කෙනෙක් විය යුත්තෝ ය යි සිතා උපස්ථාන කරති. බොහෝ චීවරාදි ප්‍ර‍ත්‍යයන් පිරිනමති. මේ වටින් පිටින් කථා කිරීමෙන් ප්‍ර‍ත්‍යය ලබන ආකාරය ය.

කිසි කුහක පැවිද්දෙක් ලාභාශාවෙන් තමා ධ්‍යාන ලාභියකු සේ ආර්‍ය්‍යපුද්ගලයකු සේ දක්වා ජනයන් රවටනු පිණිස ගමනාදි ඉරියව් පවත්වයි. ඔහු මිනිසුන් පැහැදවීම පිණිස, ලාභාපේක්ෂාවෙන් මා රහත් කෙනෙකැයි සිතත්වා යි අති ශාන්ත භාවයක් දක්වමින් බිම බලා ගෙන සෙමින් ගමන් කරයි. කය සෘජු ව තබා නිශ්චලව හිඳී. සිංහ සෙය්‍යාවෙන් ශයනය කරයි. ගමන් කරන කල්හි මිනිසුන් හමු වුව ද ඔවුන් දෙස නොබලයි. ඔවුන් හා කථා නොකරයි. හිඳින විට මිනිසුන් පැමිණියේ ද ඇස පියා ගෙන ඔවුන් දෙස නො බලමින් කථා නො කරමින් සිටී. මිනිසුන් එසේ සිටින භික්ෂුව මහ සිල්වතෙක, සමාධිලාභියෙකැ යි සිතා වඩ වඩා ඒ භික්ෂුවට පූජා සත්කාර කෙරෙති. මේ ඉරියව් පැවැත්වීමෙන් මිනිසුන් රවටා ප්‍ර‍ත්‍යය ලබන ආකාරය ය.

45. ලපනා

ප්‍ර‍ත්‍යයන් ලැබෙන පරිදි කථා කිරීම ලපනා නම් වේ. ලාභ සත්කාර කීර්ති ප්‍ර‍ශංසා බලාපොරොත්තු වන, ඒවාට ගිජු වූ කථාවෙහි දක්ෂ වූ ඇතැම් කුහක පැවිද්දෝ කථාවෙන් ඒවා ලබා ගැනීමට උත්සාහ කරති. කථාවෙන් ප්‍ර‍ත්‍යය ලැබීමට බලාපොරොත්තු වන කුහක පැවිද්දා විහාරයට ගිහියකු පැමිණි කල්හි මහත්මයා ආයේ ආරාධනාවක් කරන්නට ද? මහත්මයාට කොපමණ භික්ෂූන් වුවමනා ද? වුවමනා පමණක් භික්‍ෂූන් මට වැඩම කරවා දිය හැකිය යනාදීන් කථා කරති. අසවල් ඇමතිතුමා අසවල් මන්ත්‍රීතුමා අසවල් මහත්මයා අපගේ දායකයෝ ය, මෙහි නිතර පැමිණෙන්නෝ ය යනාදීන් තමාගේ උසස් බව පෙනෙන්නට කථා කරයි. මේ මහත්මයා, මේ මහත්මිය හොඳට පින් කරන අයය, අතීතයේ මෙසේ පින් කර ඇති අයය, මහා දානපතියෝය, දීමට යමක් ඇතියෝය යනාදීන් උසස් කොට කථා කරයි. මේ මහත්වරු අන් අවුරුදුවල නම් මේ මාස වලදී පින්කම් කරන්නෝය, දන් දෙන්නෝය, මේ වර්ෂයේ තව ම නැත්තේ අවකාශ නො ලැබූ නිසා ද යනාදීන් දෙමිය කියන තෙක් නොයෙක් ලෙසින් කථා කරයි. මේ පවුලේ අය සෝවාන් පුද්ගලයන් වැනියෝය, යමක් ලදහොත් අප අමතක නො කරන්නෝය, හොඳ දෙයක් ලද හොත් එය අපට ම දෙන්නෝය යනාදීන් බොරු කරුණාව මෛත්‍රිය හිතවත්කම දක්වා කථා කරයි. දායකයා සතුටු වන පරිදි ඔහු කියන කුමක් වුව ද සත්‍යය, ධර්මය අපේක්ෂා නො කොට අනුමත කරමින් කථා කරයි. බොරු සැබෑ මිශ්‍ර‍ කොට කථා කරයි. දායකයන් ගේ දරුවන් සුරතල් කරයි. මේ කථාවෙන් ප්‍ර‍ත්‍යය ලබාගන්නා ආකාරය ය.

46. නේමිත්තිකතා

තමන්ට වුවමනා දෙය ගිහියන්ගෙන් කෙළින්ම ඉල්ලීමක් නො කොට එය ලබා ගැනීම පිණිස කයින් හෝ වචනයෙන් හෝ යම්කිසි නිමිත්තක් දැක්වීම නේමිත්තිකතා නම් වේ. නේමිත්තිකතාව පිළිබඳව විභංග අටුවාවෙහි එන කථාවක් මෙසේ ය.

එක් ජාතක භාණක භික්ෂුවක් දිනක් වැළඳීමේ බලාපොරොත්තු-වෙන් එක් උපාසිකාවකගේ නිවසකට ඇතුළු වී හිඳ ගත්තේ ය. භික්ෂුවට සංග්‍ර‍හ කිරීමට කැමති නො වූ උපාසිකාව අද උයන්නට දෙයක් නැත යයි කියමින් සහල් සෙවීමට යන ආකාරය දක්වා සමීප ගෙයකට ගියා ය. භික්ෂුව ඒ අතර ගෙට ඇතුළු වී බලනුයේ ගෙය තුළ එක් තැනක උක් දණ්ඩකුත් භාජනයක සකුරුත් කූඩයක ලුණු මාලු පෙත්තකුත් සැළියක සහලුත් කළයක ගිතෙලුත් තිබෙනු දැක කිසිවක් නොදන්නාක් මෙන් එළියේ වාඩි වී හුන්නේ ය. උපාසිකාව අද සහල් ටිකක්වත් ලබා ගන්නට නො පුළුවන් වී ය යි කියමින් ගෙට ආවාය. එකල්හි භික්ෂුව උපාසිකාවෙනි, අද දානය හරි නො යන බව මා කළින් ම දැන ගත්තා ය. අතර මගදී නිමිත්තක් දුටුවෙමි යි කීය. උපාසිකාව විසින් ස්වාමීනි, ඒ කුමක්දැයි ඇසූ කල්හි මම මගදී අර කවුළුව සමීපයේ ඇති උක්දණ්ඩ වැනි සර්පයකු දුටිමි, ඌ පලවා හැරීමට ගැසීමට දෙයක් වටපිට බලන කල්හි අර භාජනයේ ඇති සකුරු කැට වැනි මැටි දැක, ඒවායින් ඌට ගැසුවෙමි. ඌ පෙනය කළේය. උගේ පෙණය අර කූඩයේ ඇති ලුණු මාලු පෙත්ත වැනිය. උගේ දත් අර සැළියේ ඇති සහල් ඇට වැනිය. උගේ කටින් හෙලූ කෙළ අර සැළියේ ඇති ගිතෙල් වැනියයි කීය. උපාසිකාව මේ මහණ රැවටිය හැකි කෙනකු නො වෙතියි උක් දණ්ඩ දී බත් පිස ලුණුමාලු සකුරු ගිතෙල් සමග භික්ෂුවට දුන්නා ය. එසේ රවටා ප්‍ර‍ත්‍යය ලබන ස්වභාවය නේමිත්තිකතා නම් ක්ලේශය ය.

47. නිප්පේසිකතා

නො දෙන්නවුන්ට ආක්‍රෝශ කිරීම් ආදියෙන් පීඩා කොට ප්‍ර‍ත්‍යය ලබා ගන්නා ස්වභාවය නිප්පේසිකතා නම් වේ. නිප්පේසිකතා ඇති පැවිද්දා ප්‍ර‍ත්‍යය ලබනු පිණිස නො දෙන්නවුන්ට ආක්‍රෝශ කරයි. පහත් කොට කථා කරයි. මසුරෙක, ශ්‍ර‍ද්ධාව නැතියෙක, ලෝභියෙක කියා නින්දා කරයි. මොහු මහා දානපතියෙක, සැමදාම නැතය යන වචනය දෙතිය කියා විසුළු කරයි. මසුරෙකු කියා නො දෙන්නාගේ අවගුණ පතුරවයි. ඉදිරියේ දී ගුණ කියා නැති තැන නින්දා කරයි. එසේ කරන භික්ෂුවට ඔහුගේ කරදරයෙන් බේරීම පිණිස නො කැමැත්තෙන් වුව ද දෙති.

48. ලාභේන ලාභං නිජිගිංසනතා

ලාභ කාමයෙන් කෙනකුගෙන් ලද දෙය අනිකකුට ද ඔහුගෙන් ලද දෙය තවත් කෙනකුට ද දීමෙන් වඩා හොඳ දේවල් ලබන තණ්හාව ලාභෙන ලාභං නිජිගිංසනතා නම් වේ. මෙය විභංග ප්‍ර‍කරණයෙහි විස්තර කර ඇත්තේ පිණ්ඩපාතය පිළිබඳව ය. ගෙන් ගෙට පිණ්ඩපාතය ගෙන ගොස් දෙන අය මේ රටේ දක්නට නැත. සමහරවිට විදේශවල සිටිය හැකි ය. කුහනා කපනා නේමිත්තිකතා නිප්පේසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතා යන මේ ක්ලේශයන් විස්තර කර ඇත්තේ පැවිද්දන් සම්බන්ධයෙනි.

49. සෙය්‍යො හමස්මීති මානෝ

සෙය්‍යෝහමස්මීති මානෝ යනු මම ජාතියෙන් හෝ කුලයෙන් හෝ ගෝත්‍රයෙන් හෝ රූපසම්පත්තියෙන් හෝ තනතුරෙන් හෝ උගත්කමින් හෝ නුවණින් හෝ යම්කිසි ශිල්පයකින් හෝ ශාස්ත්‍ර‍යකින් හෝ වෙනත් කරුණකින් හෝ අන්‍යයන්ට වඩා උසස්ය කියා ඇති වන හැඟීම ය. ආත්මය කොඩියක් මෙන් කොතක් මෙන් උස් කොට සලකන්නා වූ ස්වභාවය ය.

50. සදිසෝ හමස්මීති මානෝ

සදිසෝ හමස්මීති මානෝ යනු මම ද ජාතිගෝත්‍රාදියෙන් උසස් වන අන්‍යයන් හා සමාන කෙනෙක් වෙමි යයි ආත්ම භාවය උසස් කොට ගන්නා ස්වභාවය ය.

51. හීනෝ හමස්මීති මානෝ

මම ජාති ගෝත්‍ර‍ ධනාදියෙන් අන්‍යයන්ට හීනය කියා තමා පහත් කොට සලකන, සිතන ස්වභාවය ය. මේ මාන තුනට පිළිවෙලින් සෙය්‍යමානය, සදිසමානය, හීනමානය යන නම් කියනු ලැබේ. මානය ලෝභ ද්වේෂයන් තරම් නපුරු ක්ලේශයක් නො වේ. එය පුද්ගලයාගේ දියුණුව පිරිහීම යන දෙකට ම හේතු වන පින් පව් දෙකට ම හේතුවන ක්ලේශයකි. සෙය්‍යමාන සදිසමානයෙන් ඇතියෝ ආත්ම ගෞරවය ඇත්තෝ ය. තමන්ගේ ගෞරවය රැක ගැනීමේ අදහසින් උගෙනීම් ධන සැපයීම් ආදියෙහි යෙදී: සිටි තත්වයට වඩා උසස් තත්ත්වයට ඔවුහු පැමිණෙති. ආත්ම ගෞරවය රැක ගත යුතු බැවින් නීච ක්‍රියාවලින් පව්කම් වලින් වැළකෙති. අන්‍යයන්ගේ යහපත පිණිස වැඩ කරති. දානාදී පින්කම් කෙරෙති. තත්ත්වයෙන් උසස්ව සිටින බොහෝ දෙනෙකුන් නීච ක්‍රියා නො කරන්නේත්, පව්කම් වලින් වැලකී සිටින්නේත්, අන්‍යයන්ගේ යහපත සඳහා වැඩ කරන්නේත්, පින්කම් කරන්නේත් ආත්ම ගෞරවය රැක ගැනීමේ අදහසිනැයි කිය යුතුය. හීනමානය ඇතියහුට රැක ගැනීමට ගෞරවයක් නැත. ඔවුන්ගෙන් ඇතැමෙක් තමන්ගේ හීනත්වය ගැන කලකිරී ඉන් මිදෙනු පිණිස මහෝත්සාහයෙන් ඉගෙනීමෙහි, ධනය සැපයීමෙහි, පින්කම්හි යෙදෙති. පව්කමින් වළකිති. එසේ කිරීමෙන් හීනමානය නිසා ඔවුහු දියුණු වෙති. එසේ දියුණු වූවන් අද ලෝකයේ බොහෝ දෙනෙකුන් ඇති බව කිය හැකිය. අධික වූ කල්හි හීනමානය ද පුද්ගලයා මත් කරන ක්ලේශයකි. එයින් මත් වූවහුට ජීවිතය ද එපා වේ. විභාග වලින් සමත් නො වීම, රැකියා නැති වීම, රටට මුහුණ දිය නොහෙන නීච ක්‍රියා තමා අතින් සිදු වීම යන මේ කරුණුවලින් ඇතැමුන් දිවි නසා ගන්නේ ඔවුනට ඇතිවුණු හීනමානය නිසා ය. හීනමානය ඇතියහුට රැකගතයුතු ආත්ම ගෞරවයක් නැත. එබැවින් ඔහු වුවමනා වුවහොත් කිනම් නීච ක්‍රියාවක් වුව ද කරයි. කිනම් දරුණු පවක් වුව ද කරයි. එයින් ඔහු වඩ වඩාත් පිරිහී මරණින් මතු අපායට පැමිණේ.

52. සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ

සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ යනු ජාති කුල ගෝත්‍ර‍ ධනාදි කරුණකින් උසස් පුද්ගයකු හට ලෝකයේ හෝ රටේ ම හෝ පලාතේ ම හෝ මා වැනි අනිකෙක් කොයින් ද? මම ම සැමට වඩා උසස් වෙමියි ඇති වන මානය ය. මෙය රජුන්ට හා පැවිද්දන්ට ඇති වන මානයකැයි අටුවාවෙහි කියා තිබේ. මට පමණ ධන බලය, සේනා බලය, වාහන බලය ඇති අන් රජෙක් කොහි ඇත්තේ ද? මම ම ලෝකයේ ශ්‍රේෂ්ඨ රජ වෙමියි රජුන්ට මේ මානය ඇති වේ. ශීල ගුණ ධුත ගුණ ආදියෙන් මට සමාන අනිකෙක් කොහි ඇත්තේ ද? මම ම ශ්‍රේෂ්ඨ වෙමි යි මේ මානය ඇතැම් පැවිද්දන්ට ඇති වේ. අටුවාවෙහි මෙසේ කියා තිබුණත් මා වැනි පණ්ඩිතයෙකු කොහි ඇත්තේ ද? මම පණ්ඩිතයන්ගෙන් ශ්‍රේෂ්ඨ වෙමිය කියා පණ්ඩිතයකුට ද මා වැනි ධනවතකු කොහි ඇත්තේ ද? කියා ධනවතකුටත් තවත් අයටත් මේ මානය ඇති වන්නට බැරි නැත.

53. සෙය්‍යස්ස සදිසෝ හමස්මීති මානෝ

සෙය්‍යස්ස සදිසෝ හමස්මීති මානෝ යනු ජාති කුල ගෝත්‍ර‍ ධනාදියෙන් උසස් පුද්ගයකු හට මමත් අන්‍ය උසස් අය මෙන්ම ජාත්‍යාදියෙන් උසස් වෙමියයි ඇති වන මානය ය. සේනා ධන වාහන සම්පත් ඇති අන් රජුන්ට මෙන් මටත් ඒවා ඇත්තේය. මම ද කිසිවකින් ඔවුන්ට පහත් නොවෙමියි කියා රජුන්ට ද; අන් පැවිද්දන්ට මෙන් මටත් ශීල ධූත ගුණ ඇත්තේ ය. මම ද කිසිවකින් ඔවුනට දෙවෙනි නො වෙමි යි කියා පැවිද්දන්ට ද මේ මානය ඇති වේ.

54. සෙය්‍යස්ස හීනෝ හමස්මීති මානෝ

සෙය්‍යස්ස හීනෝ හමස්මීති මානෝ යනු උසස් පුද්ගලයන් වන රාජාදීන්ට තමා හා සම තත්ත්වයේ සිටින අන්‍යයන්ට යම් යම් කරුණු වලින් තමා පහත්ය කියා ඇති වන හීනමානය ය. මඳ සේනා ධන සම්පත් ඇති රජුන්ට අන් රජුන් ගේ මහත් වූ සම්පත්තිය ගැන ඇසූ කල්හි මම කුමන රජෙක් ද? මට ඇත්තේ රජය යන නම පමණෙකැයි තමා පහත් කොට සලකන මේ හීනමානය ඇති වේ. ලාභසත්කාර මඳ ගුණවත් උගත් මහතෙරවරුන්ට ද, සලකන කෙනකුන් නැති කිසි ලාභ සත්කාරයක් නැති මම කිනම් මහතෙර කෙනෙක් ද? කිනම් උගතෙක් ද? කියා මේ හීනමානය ඇති වේ.

55. සදිසස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ

සදිසස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ යනු තමා හා ජාතිගෝත්‍ර‍ ධනාදියෙන් සමාන අය ඇතියකුට තමා අන්‍යයන්ට උසස් ය කියා ඇති වන මානය ය.

56. සදිසස්ස සදිසෝ හමස්මීති මානෝ

සදිසස්ස සදිසෝ හමස්මීති මානෝ යනු තමා හා ජාතිගෝත්‍ර‍ ධනාදියෙන් සමාන අය ඇතියකුට මම ද අන්‍යයන්ට සමාන වෙමි යි ඇතිවන මානය ය.

57. සදිසස්ස හීනෝ හමස්මීති මානෝ

සදිසස්ස හීනෝ හමස්මීති මානෝ යනු තමා හා තත්ත්වයෙන් සමාන තවත් අය ඇතියකුට තමාගේ අඩුවක් දැකීමෙන් තමා පහත්ය කියා ඇති වන හීන මානය ය.

58. හීනස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ

හීනස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ යනු ජාති ගෝත්‍ර‍ ධනාදියෙන් හීන පහත් තත්ත්වයේ සිටින කෙනකුට තමා ශ්‍රේෂ්ඨය කියා ඇති වන මානය ය. පහත් තත්ත්වයේ සිටින දාසාදීන් අතුරෙන් කෙනකුට, වැඩට සමත් මම අන්‍ය දාසයන්ට වඩා ශක්තිමත් අයෙක, දැනුමැතියෙක, හිමියන්ගේ සිත් දිනාගෙන සිටින අයෙක යනාදීන් යම්කිසි කරුණක් නිසා තමා උසස් කොට සලකන දාසාදීන්ට මෙසේ මානය ඇති වේ.

59. හීනස්ස සදිසෝ හමස්මීති මානෝ

හීනස්ස සදිසෝ හමස්මීති මානෝ යනු ජාතිගෝත්‍ර‍ ධනාදියෙන් පහත් තත්ත්වයේ සිටින කෙනකුට තමා ඒ තත්ත්වයේ සිටින අන්‍යයන්ට සමය කියා ඇත වන මානය ය.

60. හීනස්ස හීනෝ හමස්මීති මානෝ

හීනස්ස හීනෝ හමස්මීති මානෝ යනු ජාතිගෝත්‍ර‍ ධනාදියෙන් හීනයකුට තමා හීන යයි ඇති වන මානය ය.

ශ්‍රේෂ්ඨ පුද්ගලයාට තමා ශ්‍රේෂ්ඨය යි ඇති වන මානය ද සමයාට තමා සමය යි ඇති වන මානය ද, හීනයාට තමා හීනය යි ඇති වන මානය ද, යාථාවමානය ය. අනුකූල මානය ය. අන් ආකාරයෙන් ඇති වන මානයෝ ඒ ඒ පුද්ගලයාට අනුකූල නො වන මානයෝ ය. ඒවා අයාථාවමාන නම් වේ. අයාථාවමානය සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හීණ වේ. යාථාවමානය අර්හත්වය දක්වා පවතී.

61. මානෝ

නාම රූප ධර්මයන්ගේ ස්වභාවය නො දැනීම නිසා පඤ්චස්කන්ධය ම හෝ ඉන් එක් ස්කන්ධයක් හෝ කීපයක් හෝ මමය, සත්ත්වයාය, පුද්ගලයාය කියා වරදවා තේරුම් ගෙන ඒ මම හෙවත් පුද්ගලයා අන්‍යයන් හා සසඳා බලා ශ්‍රේෂ්ඨය කියා හෝ සමය කියා හෝ හීනය කියා හෝ ගන්නා ස්වභාවය මාන නම් වූ ක්ලේශය ය. සත්‍ය වශයෙන් මමය යි ගැනීමට නැති කල්හි මම උසස් ය සමය පහත්ය යි සැලකීමෙහි තේරුමක් නැත. එය උමතු කමක් වැනිය. එසේ මැන ගැනීම දුකින් මිදීමට බාධාවක් බැවින් ඒ මැනීම නො කළ යුතු බව බුදුන් වහන්සේ විසින් නොයෙක් තැන වදාරා ඇත්තේ ය.

62. අතිමානෝ

අන්‍යයන් පහත් කොට තමා කොඩියක් සේ කොතක් සේ උස් කොට සලකන ස්වභාවය අතිමාන නම් වේ.

63. මානාතිමානෝ

කලින් තමා අන්‍යයන් හා සම කොට සිතා ගෙන සිට පසු කාලයේ අන්‍යයන්ට වඩා තමා උසස් යයි සලකන මානය මානාතිමාන නම් වේ.

64. ඕමානෝ

ජාති කුල ගෝත්‍ර‍ ධනාදියෙන් තමා සෙස්සන්ට වඩා හීනය කියා ඇති වන හැඟීම් ඕමාන නම් වේ. එනම් හීන මානය ය.

65. අධිමානෝ

මම සෝවාන් වෙමිය, සකෘදාගාමී වෙමිය, අනාගාමී වෙමිය යි ඇතැම් පෘථග්ජනයන්ට ඇතිවන මෝහය අධිමාන නම් වේ. මේ ක්ලේශය පෘථග්ජනයන්ට මිස ආර්‍ය්‍යයන්ට ඇති නො වේ. පහළ ම ආර්‍ය්‍ය පුද්ගලයා වන සෝවාන් පුද්ගලයා ද මාර්ගය ඵලය නිර්වාණය ප්‍ර‍හීණ ක්ලේශ අප්‍ර‍හීණ ක්ලේශ යන මේවා නුවණින් ප්‍ර‍ත්‍යවේක්ෂා කොට නිසැක ලෙස තමාගේ තත්ත්වය දැන ගනී. එබැවින් සෝවාන් පුද්ගලයකුට තමා සකෘදාගාමී අනාගාමී වී ඇතය රහත් වී ඇතය යන මුළාව ඇති නොවේ. සකෘදාගාමී අනාගාමී පුද්ගලයන්ට මතු මඟ ඵල ලබා ඇතය යන මුළාව ඇති නො වේ. මඟ ඵල ලැබීමේ බලාපොරොත්තුවක් නැති දුශ්ශීලයන්හට ද මෙය ඇති නොවේ. මඟ ඵල ලබන රිසියෙන් සමථ විදර්ශනාවන්හි නො යෙදෙන කුසීත සිල්වතුන්ට ද මෙය ඇති නො වේ. පිරිසිදු ශීලයෙහි පිහිටා නාම රූප ධර්මයන් පිරිසිඳ දැන ඒවායේ ප්‍ර‍ත්‍යයන් විමසා දැන සැක දුරු කොට තමා රූපයන්ගේ තිලකුණු බැලීම් වශයෙන් අප්‍ර‍මාදව විදර්ශනාවෙහි යෙදෙන ඇතැම් යෝගාවචරයන්ට මේ මුළාව ඇති වේ. මුළා වී ඇති යෝගාවචරයා තමා තුළ කෙලෙසුන් නැගී ඒමක් නැති නිසා තමා සෝවාන් වී ඇතය, සකෘදාගාමී අනාගාමී වී ඇතය යි රැවටේ. සමථයෙන් කෙලෙසුන් යටපත් කොට විදර්ශනාවෙන් සංස්කාරයන් පිරිසිඳ දැන සිටින යෝගාවචරයන්ට අවුරුදු සැට සැත්තෑව පමණ කල් කිසි ක්ලේශයක් නූපදී. එහත් කෙනකුගේ මෙන් සිත පිරිසිදු ව පවතී. එයින් ඇතැම් යෝගාවචරයන්ට රහත් නොවීම රහත් වූයෙමි ය යි මුළාව ඇති වේ. මේ අධිමානයෙන් වන හානිය නම් උත්සාහය නවත්වන නිසා මඟ ඵල නොලැබී යාම ය. අරණ්‍ය සේනාසනවල භාවනා මධ්‍යස්ථානවල භාවනා කළ ඇතැම් යෝගාවචරයන්ටත් අධිමානය ඇති වී තිබිය හැකිය. උච්චමාලිකවාසී මහානාග තෙරුන් වහ්නසේ ය, හංකනවාසී මහාදත්ත තෙරුන් වහන්සේ ය, සිතුල්පව්වේ චුල්ලසුම්ම තෙරුන් වහන්සේය යන මේ තෙරුන් වහන්සේලා අධිමානයෙන් විසූහ යි විභංග අටුවාවෙහි දක්වා ඇත්තේ ය. උච්චමාලිකවාසී මහානාග තෙරුන් වහන්සේගේ කථාව මෙසේය :-

මාලිකවාසී මහාධම්මදින්න නම් වූ බොහෝ භික්ෂූන්ට අවවාද දෙන පිළිසිඹියා පත් මහ රහතන් වහන්සේ නමක් වූහ. දිනක් උන් වහන්සේ දිවා ස්ථානයෙහි වැඩ හිඳිනා සේක් තමන් වහන්සේගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ වන උච්චමාලිකවාසී මහානාග තෙරුන් වහන්සේගේ ශ්‍ර‍මණකෘත්‍යය මස්තකප්‍රාප්තවී දැ යි බලන්නාහු උන්වහන්සේ පෘථග්ජනව වෙසෙන බව දැක, තමන් වහන්සේ එහි නො ගිය හොත් උන්වහන්සේ පෘථග්ජන භාවයෙන් ම කලුරිය කරන බව දැන සෘද්ධියෙන් අහසට නැගී ගොස් තෙරුන් වහන්සේ සමීපයෙහි අහසින් බැස වැඳ එකත් පසෙක හිඳ ගත්හ. එකල්හි මහානාග තෙරුන් වහන්සේ ඇවැත්නි, ධම්මදින්න, ඔබ මේ අකාලයේ කුමට ආවහුදැයි කීහ. ධම්මදින්න තෙරණුවෝ ස්වාමීනි, පැනයක් විචාරීමට ආයෙමි යි කීහ. ඇවැත්නි, අසව දන්නා දෙයක් නම් කියමි යි මහානාග තෙරණුවෝ කීහ. ධම්මදින්න තෙරණුවෝ දහසක් පමණ ප්‍ර‍ශ්නයන් ඇසූහ. කිසිදු පැකිළීමක් නැතිව මහානාග තෙරුන් වහන්සේ සියල්ල විසඳූහ. එකල්හි ධම්මදින්න තෙරණුවෝ ස්වාමීනි, ඔබ වහන්සේගේ නුවණ ඉතා තියුණුය. නුඹ වහන්සේ මේ ධර්මය කවදා අධිගමනය කළ සේක් දැයි කීහ. ඇවැත්නි, සැට අවුරුද්දකටත් පෙරදීයයි කීහ. නුඹ වහන්සේට සමාධීන් ඇත්තේදැයි ධම්මදින්න තෙරණුවෝ ඇසූහ. ඇවැත්නි, එයත් මට ලොකු දෙයක් නොවේයයි තෙරණුවෝ කීහ. ස්වාමීනි එසේ නම් ඇතකු මවන සේක්වායි ධම්මදින්න තෙරණුවෝ කීහ. තෙරුන් වහන්සේ විශාල සුදු ඇතකු මැවූහ. මේ ඇතා නගුට ඔසවා කන් ඔසවා කුඤ්ච නාද කරමින් ඔබ වහන්සේ ඉදිරියට එන ලෙස කරනු මැනවයි ධම්මදින්න තෙරණුවෝ කීහ. මහානාග තෙරුන් වහන්සේ එසේ කොට තමන් වහන්සේ මැවූ ඇතුට ම බිය වී පලා යන්නට තැත් කළහ. ධම්මදින්න තෙරුන් වහන්සේ මහානාග තෙරුන් වහන්සේට පලායන්නට නොදී අත දිගු කොට සිවුරු කොනින් අල්වා ස්වාමීනි, රහතුන්ට බියෙක් ඇතිදැයි කීහ. එකල්හි තෙරුන් වහන්සේ තමා රහත් නොවන බව දැන ඇවැත්නි, ධම්මදින්න මට පිහිට වෙවයි කියා ධම්මදින්න තෙරුන් වහන්සේ පාමුල උක්කුටියෙන් හිඳ ගත්හ. ධම්මදින්න තෙරණුවෝ ස්වාමීනි, මා ආයේ නුඹ වහන්සේට පිහිට වන්නටමයයි කියා කමටහන් කීහ. තෙරුන් වහන්සේ කමටහන් ගෙන සක්මනට නැඟ භාවනා කරන්නේ තුන්වන පියවරෙහිදී ම සියලු කෙලෙසුන් නගා අග්‍ර‍ඵලය වූ අර්හත්වයට පැමිණියහ. මේ අධිමානයෙන් සැට වසක් ගත කළ උච්චමාලිකවාසී මහානාග තෙරුන් වහන්සේගේ කථාව ය.

66. අස්මිමානෝ

පෘථග්ජන පුද්ගලයන්ට හා සෝවාන් සකෘදාගාමී අනාගාමී පුද්ගලයන්ට ගමනාදි ඉරියව් පැවැත්වීමෙහිදී මම යෙමි යි රූපස්කන්ධයෙහි මමය යන හැඟීමක් ඇති වේ. සුවදුක් විඳිනා කල්හි මම විඳිමි යි වේදනා ස්කන්ධයෙහි මමය යන හැඟීම ඇති වේ. සංඥා පහළ වන කල්හි මම දනිමි යි සංඥාස්කන්ධයෙහි මමය යන හැඟීම ඇති වේ. දානාදි ක්‍රියා සිදු කරන කල්හි මම දෙමිය ගනිමිය කතා කරමිය යනාදීන් සංස්කාර ස්කන්ධයෙහි මමය යන හැඟීම ඇති වේ. දැකීම් ඇසීම් ආදිය සිදු වන කල්හි මම දකිමිය අසමිය යනාදීන් විඥානස්කන්ධයෙහි මමය යන හැඟීම ඇති වේ. එසේ පඤ්චස්කන්ධයෙහි ඇති වන මමය යන හැඟීම අස්මිමාන නම් වේ. රූපය මමය වේදනාව මමය යනාදීන් ඇති වන සක්කාය දෘෂ්ටිය එක් ක්ලේශයෙකි. රූපය මමය යනාදීන් ඇති වන අස්මිමානය අනිකකි. මේ දෙකින් මමය යන දෘෂ්ටිය සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හීණ වේ. අස්මිමානය අර්හන්මාර්ගය දක්වා පවතී. එය ප්‍ර‍හීණ වන්නේ අර්හන් මාර්ගයෙනි. අස්මිමානස්ස යෝ විනයෝ එතං වේ පරමං සුඛං යි වදාරා ඇත්තේ ඒ නිසා ය.

67. මිච්ඡා මානෝ

ප්‍රාණඝාතාදි පාපක්‍රියාවන්හි දක්ෂතාව නිසා එයින් තමා උසස්ය කියා ඇති වන මානය මිච්ඡාමාන නම් වේ. ඇතැම්හු වෙඩි තැබීමට බෝම්බ දැමීමට මසුන් මැරීමට වනසතුන් මැරීමට සොරකමට පරදාර සේවනයට අනුන් රැවටීමට කේලාම් කීමට දක්ෂයෝ ය. කඩු කිණිසි තුවක්කු දැල් ආදී ප්‍රාණවධය සඳහා ගන්නා උපකරණ තැනීමේ දක්ෂයෝ ය. ඇතැම්හු කොඩිවින සූනියම් වස්කවි ආදියට දක්ෂයෝ ය. ඔවුන්ට මේ කරුණු සම්බන්ධයෙන් තමා උසස් කොට ගන්නා මිථ්‍යාමානය ඇති වේ. නැටීමෙහි ගැයුමෙහි වැයුමෙහි දක්ෂතාව නිසා ද මිථ්‍යාශීල මිථ්‍යාව්‍ර‍ත මිථ්‍යාදෘෂ්ටි නිසා ද තමා උසස් කොට ගන්නා මිථ්‍යාමානය ඇති වේ.

68. ඤාති විතක්කෝ

අසවල් පවුල පොහොසත් ය, අසවල් පවුල දිළිඳුය, අසවල් පවුල දියුණු වන්නේය, අසවල් පවුල පිරිහෙන්නේය, අසවලාට විවාහයක් කර දිය යුතුය, අසවලාට රැකියාවක් සොයා දිය යුතුය යනාදීන් ඤාතීන් සම්බන්ධයෙන් ඇති වන තෘෂ්ණා සහගත කල්පනාව ඤාති විතක්ක නම් වූ ක්ලේශය ය. අපගේ බොහෝ නෑයෝ මළහ, බොහෝ නෑයෝ සැදැහැවත්හු ය, සිල්වත්හුය, දන් දෙන්නෝය, භාවනා කරන්නෝය, වෙනත් පින්කම් කරන්නෝය යනාදීන් ඥාතීන් ගැන කල්පනා කිරීම ක්ලේශ කොට්ඨාසයට අයත් නො වේ.

 

 

69. ජනපද විතක්කෝ

අපගේ ජනපදය සරුය, මිනිසුන් සුවසේ ජීවත් වන්නාහ. මේ ජනපදයේ සියල්ලම ඇත යනාදීන් ජනපදය සම්බන්ධයෙන් ඇති වන ගෘහාශ්‍රිත තෘෂ්ණාවෙන් යුක්ත කල්පනාව ජනපද විතක්ක නම් වේ. අපගේ ජනපදය නිශ්ශ්‍රීකය, මෙහි වෙසෙන්නෝ කාලකණ්ණීහුය, සොරුය, පව්කාරයෝ ය යනාදීන් ජනපදය ගැන ඇති වන ද්වේෂ සහගත කල්පනාව ද ක්ලේශයෙකි. අපගේ ජනපද වැසියෝ සත්පුරුෂයෝ ය, පින් පව් දන්නෝ ය, පින් කරන්නෝය යනාදීන් ජනපදය සම්බන්ධයෙන් ඇතිවන කල්පනාව ක්ලේශයක් නො වේ.

 

70. අමර විතක්කෝ

දුක් විඳීමෙන් කළ පව් ගෙවා නො මැරෙන තත්ත්වයට පැමිණීම සඳහා ඇතැම් මිසදිටුවන් කරන දුෂ්කර ක්‍රියා සම්බන්ධයෙන් හා දෘෂ්ටි සම්බන්ධයෙන් ඇතිවන මිථ්‍යා සංකල්පය අමරවිතක්ක නම් වේ. ඇතැම් මිසදිටුවෝ උක්කුටියෙන් හිඳීම්, කටුමත හිඳීම්, අව්වේ සිටීම්, ගිනිගොඩවල් සමීපයේ සිටීම්, ආහාර වර්ජනය කිරීම් ආදියෙන් දුක් විඳ කළ පව් ගෙවා අවසන් කොට නො මැරෙන දේවත්වයට පැමිණීමට උත්සාහ කරති. දුෂ්කර ක්‍රියා කරති. ඔවුනට ඒ දුෂ්කර ක්‍රියා සම්බන්ධයෙන් ඇතිවන මිථ්‍යාවිතර්කය නො මැරීම පිළිබඳ විතර්කයක් බැවින් අමර විතක්කය නම් වේ. අමර යනු ආඳාට ද නමෙකි. ඌට දිය ගොඩ දෙකෙහි ම හැසිරිය හැකිය. ඌ ඇල්ලීම දුෂ්කරය. ඒ මේ අත පැන ඌ මස් මරන්නන්ගෙන් ගැලවෙයි. ආඳා මෙන් මඇතැම් දෘෂ්ටිගතිකයෝ සත්ත්වයා මරණින් මතු ඇත් දැ යි ඇසුව හොත් ඇතය යි ද නො කියමි යි කිය යි. නැත දැ යි ඇසුව හොත් නැතය යි ද නො කියමි යි කිය යි. මෙසේ කුමකට වත් හසු නො වී ඒ මේ අත පැන, හසු නොවී බේරෙන දෘෂ්ටිගතිකයාගේ ඒ දෘෂ්ටිය පිළිබඳ මිථ්‍යා විතර්කය ද අමරවිතක්ක නම් වේ.

71. පරානුද්දයතා පටිසංයුත්තෝ විතක්කෝ

ගෘහාශ්‍රිත ප්‍රේමයෙන් ගිහියන් හා සම්බන්ධකම් පැවැත්වීමට පැවිද්දන්ට නුසුදුසුය. ඇතැම් භික්ෂූහු සතුටු විය යුත්තෙහි ගිහියන් හා එක්ව සතුටු වෙති. ශෝක කළ යුත්තෙහි ගිහියන් හා එක්ව ශෝක කෙරෙති. ගෙවල් සෑදීම, ඉඩම් ගැනීම, ආවාහ විවාහ කිරීම, රැකියා සෙවීම ආදි ගිහියන්ගේ කටයුතුවලට සහභාගි වෙති. එසේ කරන පැවිද්දන්ට ගිහි කටයුතු සම්බන්ධයෙන් ඇතිවන ගෘහාශ්‍රිත විතර්ක පරානුද්දයතා පටිසංයුත්ත විතක්ක නම් වේ. දයාව කුශලපක්ෂයට අයත් ධර්මයෙකි. මෙහි අදහස් කරන දයාව කරුණාවේ මුහුණු වර ඇති තණ්හාව ය. කරුණාවේ හෙවත් දයාවේ මුහුණුවර ඇති තණ්හාවෙන් යුක්ත කල්පනාව පරානුද්දයතා පටිසංයුත්ත විතක්කය ය. ගිහියන්ට ධර්මය තේරුම් කරදීම ඔවුන් ශීලයෙහි පිහිටවීම, භාවනාවෙහි යෙදවීම ආදිය සම්බන්ධයෙන් ඇතිවන පරානුද්දයතා පටිසංයුක්ත විතක්කයන් ද ඇත. එය ක්ලේශයක් නොව කුශල ධර්මයෙකි.

72. ලාභ සක්කාර සිලෝක පටිසංයුත්තෝ විතක්කෝ

ලාභ ඇති ලාභ සත්කාර කීර්තිය පිළිබඳව හා ලැබීමට බලාපොරොත්තු වන ලාභ සත්කාර කීර්තීන් පිළිබඳව ද ඇති වන තෘෂ්ණා සහගත මිථ්‍යා විතර්කය ලාභසත්කාර සිලෝක පටිසංයුත්ත විතක්ක නම් වේ.

73. අනවඤ්ඤත්ති පටිසංයුත්තෝ විතක්කෝ

ජාතියෙන් හා කුලයෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ධනයෙන් ශිල්පයෙන් ශාස්ත්‍රයෙන් හෝ අන් කරුණකින් හෝ අන්‍යයෝ මා පහත් කොට නො සිතත්වා. පහත් කොට කථා නො කෙරෙත්වා. පහත් කොට බැහැර නො කෙරෙත්වා. උසස් කොට හෝ සම කොට හෝ සලකත්වා. මා පිළිගනිත්වා යි ඇතිවන තෘෂ්ණා සහගත වූ මාන සහගත වූ හෝ මිථ්‍යා කල්පනාව අනවඤ්ඤත්ති පටිසංයුක්ත විතක්ක නම් වේ.

මේ විභංග පාලියේ එක බැගින් දක්වා ඇති

කෙලෙස් තෙසැත්තෑව ය.

 

ඒකක නිර්දේශය නිමි.

 

______

ද්වික වශයෙන් දක්වන ලද ධර්‍ම සතිස

 

කෝධෝ ච උපනාහෝ ච

මක්ඛෝ ච පලාසෝ ච

ඉස්සා ච මච්ඡරියං ච

මායා ච සාඨෙය්‍යං ච

අවිජ්ජා ච භවතණ්හා ච

හවදිට්ඨි ච විභවදිට්ඨි ච

සස්සත දිට්ඨි ච උච්ඡේද දිට්ඨි ච

අන්තවා දිට්ඨි ච අනන්තවා දිට්ඨි ච

පුබ්බන්තානුදිට්ඨි ච අපරන්තානුදිට්ඨි ච

අහිරිකං ච අනොත්තප්පං ච

දෝවචස්සතා ච පාපමිත්තතා ච

අනජ්ජවෝ ව අමද්දවෝ ච

අක්ඛන්ති ච අසෝරච්චං ච

අසාඛල්ලං ච අප්පටිසන්ථාරෝ ච

ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා ච භෝජනේ අමත්තඤ්ඤුතා ච

මුට්ඨසච්චං ච අසම්පජඤ්ඤං ච

සීලවිපත්ති ච දිට්ඨිවිපත්ති ච

අජ්ඣත්තසංයෝජනං ච බහිද්ධාසංයෝජනං ච

මෙහි දුක අටොළොසකි. ධර්ම සතිසෙකි.

 

1. කෝධෝ 2. උපනාහෝ

අනුන්ට බණින තර්ජනය කරන අත්පා ආදියෙන් පහර දෙන අනුන් මරණ අන්සතු වස්තුව විනාශ කරන සමහරවිට තමාගේ වස්තුව වුව ද විනාශ කරන තමාගේ ජීවිතය වුව ද නසන රෞද්‍ර‍ වූ විරුද්ධ ස්වභාවය ක්‍රෝධය ය. බලවත් ක්‍රෝධය පුද්ගලයා උමතු කරයි. ක්‍රෝධයෙන් උමතු වූ පුද්ගලයා සමහරවිට තමා ගේ බඩු ද බිම ගසා පොඩි කර විනාශ කරයි. සමහරවිට ගිනි තබා විනාශ කරයි. තමාගේ අඹුදරුවන්ට තර්ජනය කරයි. පහර දෙයි. සමහරවිට මරා දමයි. එසේ කොට තමාගේ ජීවිතය ද නසා ගනියි. අන්‍යයන්ට අපරාධ කිරීම ගැන කියනුම කිම? මේ ක්‍රෝධය ලෝකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍යය ය. විපාකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍යය ය. ක්‍රෝධය හටගත් පුද්ගල තෙමේ මව්පියන්ට ද අපරාධ කරයි. සහෝදර සහෝදරියන්ට ද අපරාධ කරයි. පැවිද්දන්ට ද අපරාධ කරයි. ගරු කළ යුතු වූ අපරාධ කිරීමට නුසුදුසු වූ අන් ගුණවතුන්ට ද අපරාධ කරයි. එයින් ඔහු ආ ගිය තැන ගැරහුම් ලබයි. දඬුවම් ද ලබයි. ක්‍රෝධය මෙසේ ලෝකවද්‍ය වශයෙන් මහාසාවද්‍ය වේ. කෝප වූ පුද්ගලයා සමහර විට මවුපියන් මරා කල්පයක් අපායෙහි පැසෙයි. එබැවින් ක්‍රෝධය විපාකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍ය වේ. ක්‍රෝධයෙන් වන පව්වල විපාකය නැති කර ගැනීම අපහසු ය.

දෝසේන හි දුට්ඨෝ මාතාපිතූසුපි චෙතියෝ පි බෝධිම්හි පි පබ්බජිතෙසු පි අපරජ්ඣිත්වා මය්හං ඛමථාති අච්චයං දෙසෙති. තස්ස සහ ඛමාපනේන තං කම්මං පටිපාකතිකමේව හෝති.

යනුවෙන් කෝප වූ මව්පියන්ට හෝ චෛත්‍යයට බෝධියට හෝ පැවිද්දාට හෝ අපරාධ කළ තැනැත්තාට ක්ෂමා කරවා ගැනීමෙන් එහි දෝෂය නැති කර ගත හැකි බව මනෝරථ පූරණී අට්ඨකතාවෙහි දක්වා ඇත්තේ ය. ක්ෂමාව ලබා ගැනීමෙන් නිදහස් විය හැක්කේ කුඩා අපරාධ ගැන පමණක් බව කිය යුතු ය. මව්පියන් මැරීම ආනන්තරිය කර්මයක් වන නිසා කවරාකාරයකින් වත් එහි විපාකය නො වැළැක්විය හැකි ය.

මහානර්ථකර වූ මේ ක්‍රෝධය ඇති වුව හොත් එය සිය නිවසට ඇතුළු වූ සර්පයකු සේ ද, කුසට ඇතුළු වූ වසක් මෙන් ද සලකා දුරු කිරීමට උත්සාහ කළ යුතු ය. යම්කිසි කරුණක් ගැන කෝපය ඇති වූ කල්හි එය වහා සන්සිඳවා නො ගත හොත් ක්‍ර‍මයෙන් වැඩේ. මුලින් ඇති වූ ක්‍රෝධය ක්‍ර‍මයෙන් පරුෂ වචන කියන තත්ත්වයට ද, පහර දීම සඳහා අත් පා ක්‍රියා කරවන තත්ත්වයට ද, ගල් මුල් පොලු වලින් පහර දෙන තත්ත්වයට ද, කඩු කිණිසි වලින් පහර දෙන තත්ත්වයට ද, ගෙවල් ගිනි තබන බඩු විනාශ කරන තත්ත්වයට ද සිය දිවි නසා ගන්නා තත්ත්වයට ද දියුණු වේ. මෙසේ ක්‍රෝධය දියුණු වන්නේ කිපී ඇත්තේ මමය කියා ක්‍රෝධය ආත්ම වශයෙන් හෝ මාගේ ක්‍රෝධය කියා ආත්මීය වශයෙන් හෝ සැලකීම නිසා ය. ක්‍රෝධය එසේ ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් හෝ නො ගෙන තමාගේ පඤ්චස්කන්ධය නමැති ගෙට ඇතුළු වූ සර්පයකු ලෙස විෂක් ලෙස සලකන්නවුන්ට ක්‍රෝධය නො වැඩේ. ඔවුනට සර්පයා පලවා හරින්නාක් මෙන් ක්‍රෝධය පලවා හැරිය හැකි ය.

ගිනිදැල් විහිදුවමින් පැවති ගිනි අඟුරු අලුයෙන් යට වූ විට කලක් නිසල ව පවතී. එමෙන් පටන් ගැන්මේ දී ක්‍රියාකාරිත්වයෙන් පැවති ක්‍රෝධය එහි අධික වේගයෙන් සන්සිඳී අලුයෙන් යට වූ ගිනි අඟුර මෙන් සිත්සතන්හි යට වී පවතී. එය අප්‍ර‍කට ය. ඒ තත්ත්වයට පැමිණි ක්‍රෝධය උපනාහ නම් වේ. වෛරය යනු ද එයට නමෙකි. වෛරය ලෙහෙසියෙන් නො සන්සිඳෙන දීර්ඝ කාලයක් පවතින ක්ලේශයෙකි. සමහරවිට එය එක් ජාතියකදී කෙළවර නොවී කාළි යකින්නගේ වෛරය මෙන් ද, දෙවිදත්ගේ වෛරය මෙන් ද භවාන්තරයට ද යන්නේ ය. වෛරය නිසා බෝසතාණන්ට අපරාධ කොට දෙවිදත් බොහෝ වාර ගණනක් අවීචියෙහි උපන් බව ජාතක කථාවල සඳහන් ව ඇත්තේ ය.

න හි වේරේන වේරානි -සම්මන්තීධ කුදාචනං,

අවේරේන ච සම්මන්ති - එස ධම්මෝ සනන්තනෝ

(ධම්මපද යමක වග්ග)

කෙළ සෙම් සොටු මළ මුත්‍රයෙන් අපවිත්‍ර‍ වූ තැනක් ඒවායින් ම සෝදා පිරිසිදු නො කළ හැකි ය. පිරිසිදු කරන්නට ය කියා ඒවායින් සේදුවහොත් ස්ථානය වඩාත් අපවිත්‍ර‍ වන්නේ ය. වඩා දුගඳ වන්නේ ය. බණින්නහුට පෙරළා බැණීමෙන්, පහර දෙන්නහුට පෙරළා පහර දීමෙන් වෛරදය නො සන්සිඳේ. එයින් වෛරය වඩාත් දියුණු වේ. පිරිසිදු දියෙන් සේදීමෙන් අපවිත්‍ර‍ ස්ථාන පිරිසිදු වන්නාක් මෙන් ක්ෂාන්ති මෛත්‍රි ආදි වෛරයෙන් ම වෛරය දුරු වේ. මේ බුද්ධාදි මහෝත්තමයන් ගිය පෞරාණික මාර්ගය යයන ඉහත දැක්වූ ගාථාවේ අදහස ය.

3. මක්ඛෝ 4. පලාසෝ

මාපියන් විසින් ගුරුන් විසින් නෑයන් මිතුරන් විසින් කළ උපකාර වලින් දියුණු වී, මා මාගේ වීර්‍ය්‍යයෙන් ම දියුණු වූවා මිස මට කවුරුන් වත් කළ දෙයක් නැත. කාගෙන්වත් මට උවමනාවක් ද නැත කියා කළ ගුණ අවලංගු කරන ස්වභාවය මක්ඛ නම් වේ. ගුණමකු බවය යනු ද එයට නමෙකි. එය ද්වේෂයේ ම ආකාර විශේෂයකි.

අනිකකුගෙන් උපකාර ලබා ගත්තා වූ හෝ ලබමින් සිටින්නා වූ හෝ ඇතැමෙක් යම්කිසි කරුණකින් කෝප වූ විට, මට ඔබ කළ දෙයක් නැත, ඔබෙන් මට වුවමනාවකුත් නැත, කියා ගුණ අවලංගු කරයි. ජීවත්වීමට පවා ක්‍ර‍මයක් නොමැතිව අසරණ ව සිටි ඇතැම් අසත්පුරුෂයෙක් යම්කිසි කාරුණකියකුගේ උපකාරයෙන් දියුණු වූ පසු උසස් තත්ත්වයට පැමිණි පසු උපකාර කළ සත්පුරුෂයා හමු වී ඒ ගැන කථා කළ හොත් ඔබෙන් ලත් සතයකුදු මා වෙත නැත. මා දියුණු වී සිටින්නේ කාගේවත් උදව්වකින් නොව මාගේ උත්සාහයෙනැයි කියා කළ ගුණ අවලංගු කරයි. ඇතැම් පාපී ශ්‍ර‍මණයෝ ද සාමණේර කාලයේ පටන් සිවුපසය සපයා දෙමින් ලෙඩ දුකට පිහිට වෙමින් අධ්‍යාපනයක් ලබා දෙමින් උපකාර කළ ගුරුවරුන්ගේ ගුණ අමතක කරති. ගුරුවරුන්ගේ උපකාරයෙන් දියුණු වී, මහජනයාගෙන් පුද සත්කාර ලබන, උසස් අයගෙන් සැලකිලි ලබන තත්ත්වයට පැමිණි පසු මා මේ තත්ත්වයට පැමිණියේ කාගේවත් උපකාරයකින් නොව මාගේ නුවණින් මාගේ උත්සාහයෙනැයි කියමින් කළගුණ නසති. මෙසේ කළගුණ අවලංගු කර ගුණ කළ අයගේ සිත් රිදවීම මත් අසත්පුරුෂ කමෙකි. මහත් පාපයෙකි. එහි විපාක වශයෙන් ඇතැම්හු මෙලොවදී ම නැවත පිරිහීමට පත් වෙති, ඇතැම්හු නපුරු රෝග වැළඳී බෝකල් දුක් විඳ ධනයත් අවසන් කර ගෙන මිය යති. මෙහි සත්‍යතාව ලෝකය දෙස විමසිල්ලෙන් බලන්නවුන්ට තේරුම් ගත හැකි වනු ඇත.

තමාට වඩා ගුණයෙන් උසස් අය හා තමා සම කොට ගන්නා ස්වභාවය පලාස නම් වේ. සිල්වත්හු ය, ආරණ්‍යකයෝ ය, පිණ්ඩපාතිකයෝ ය, පණ්ඩිතයෝ ය, කාරුණිකයේ ය, ශාසන සේවකයෝ ය, ශාසන ශෝධකයෝ ය යි කියමින් සිටින අයගේත් අපගේත් ඇති වෙනසක් නැත. ඔවුන්ට කළ හැකි හැම දෙයක් ම අපටත් කළ හැකිය. ඔවුහු ද අප මෙන් මැරෙන්නෝ ය. මරණින් පසු ඔවුනට යාමට අමුතු ලෝකයක් නැත යනාදීන් පලාසය ඇතියෝ ගුණවතුන් හා තමා සම කොට සිතති. සම කොට කථා කරති. එද ඒ ආකාරයෙන් පවත්නා මානය ම ය.

5. ඉස්සා 6. මච්ඡරිය

අන්‍යයන්ට ඇඳුම් පැලඳුම් ගෙවල් වතු කුඹුරු තනතුරු ආදිය තිබීම නො ඉවසන්නා වූ ද, අන්‍යයන් පූජා සත්කාර ගරු බුහුමන් කීර්ති ප්‍ර‍ශංසා ලැබීම නො ඉවසන්නා වූ ද ස්වභාවය ඉස්සා නම් වේ. ඊර්‍ෂ්‍යා නම් ද වේ. ඊර්‍ෂ්‍යාව ඇතියහුගේ කැමැත්ත අනුන්ගේ සම්පත්තිය නැති කිරීමට ය. එසේ නො කළ හැකි කල්හි එහි දොසක් බලා සැනසෙයි. ඔහු අනුන්ගේ ලස්සන ඇඳුමෙහි දොසක් දකී. ලස්සන සිරුරෙහි දොසක් දකී. අන්‍ය වස්තූන් හි ද එසේ ම දොස් බලා ඒවායේ දොස් ගැන කථා කොට සැනසෙයි. ඔහු අනුන්ගේ ගෙය අනුන්ගේ වාහනය අනුන්ගේ වත්ත කුඹුර අනුන්ගේ රැකියාව තනතුර කවදා හෝ නැති වේ දෝ යි බලා සිටී. නැති වූ විටෙක ඉමහත් සතුටක් ලබයි. මේ ඊර්‍ෂ්‍යාව බෙහෙවින් ඇති වන්නේ ගිහියන්ට ගිහියන් ගැනත් පැවිද්දන්ට පැවිද්දන් ගැනත් ය. පැවිද්දකු ලාභ සත්කාර කීර්ති ප්‍ර‍ශංසා ලබන කල්හි තවත් පැවිද්දකුට ඒ ගැන ඊර්‍ෂ්‍යාව ඇති වේ. ගිහියකුට ඒ ගැන එතරම් ඊර්‍ෂ්‍යාවක් ඇති නො වේ. මෙය ඇති තැනැත්තාට නො දැනෙන ක්ලේශයෙකි. එබැවින් බොහෝ දෙනා තමන් කාටවත් ඊර්‍ෂ්‍යා නො කරන බවත් තමාට අන්‍යයන් ඊර්‍ෂ්‍යා කරන බවත් කියති. ඊර්‍ෂ්‍යාව මිනිසුන්ට පමණක් නොව තිරිසනුන්ටත් ඇති බව පෙනේ. ප්‍රාණ ඝාතකයාට මස් ලැබේ. සොරාට ධනය ලැබේ. මිථ්‍යාචාරයෙහි යෙදෙන්නාට සුවයක් ලැබේ. බොරු කියන්නාටත් එයින් ප්‍රයෝජන ලැබේ. සුරා පානය කරන්නහුට ද ඉන් සුවයක් ලැබේ. ඊර්‍ෂ්‍යා කරන්නහුට ඉන් වන යහපතක් නො පෙනේ. එබැවින් ඊර්‍ෂ්‍යාව ඉතාම ලාමක පාපයෙකැයි ද කිය යුතු ය.

තමාගේ දෙය අනුන්ට හිමි වීමටත් එයින් අනුන්ට සුළු ප්‍රයෝජනයක් වුව ලැබෙනවාටත් විරුද්ධ ස්වභාවය මච්ඡරිය නම් වේ. මාත්සර්‍ය්‍ය නම් ද, මසුරු බව නම් ද වේ. මසුරු තැනැත්තේ තමාගේ දෙය අනුන්ට දෙනු තබා අනුන් දකිනවාට ද නො කැමැත්තේ ය. දුටහොත් අනුන් ඉල්ලතියි යන බියෙන් ඔහු නිතර ම තමාගේ සම්පත්තිය සඟවයි. මසුරා ය, ලෝභියා ය යන දෙදෙනා ම නො දෙති. මසුරා නො දෙන්නේ මසුරු බව නිසා ය. ලෝභියා නො දෙන්නේ ලෝභය නිසා ය. මාත්සර්‍ය්‍යය එක් ක්ලේශයෙකි. ලෝභය එයට වෙනස් අන්‍ය ක්ලේශයෙකි. මේ දෙක කිසි කලෙක එක් ව එක සිතක ඇති නො වේ.

අධික මසුරුකම් ඇත්තේ අනුන් දෙනවාට ද නො කැමති ය. ඔහු අනුන් කරන දීම් ද වළක්වයි. අනුන්ගේ දීම් වළක්වන මහ මසුරුකම කදරිය නම් වේ. කදරිය නම් වූ මහ මසුරුකම් ඇතියෝ දෙන අයටත් දොස් කියති. අනුන්ගේ දීම් වළක්වන තැනැත්තේ ප්‍ර‍තිග්‍රාහකයාගේ ලාභය නැති කරයි. දායකයා ලබන පින ද නැති කරයි. දීම වැළැක්වීම දෙදෙනකුට අන්තරාය කිරීමකි. එබැවින් එය මහ පාපයකි. එය කරන්නෝ මරණින් මතු නරකයෙහි හෝ ප්‍රේත ව හෝ උපදිති.

න වේ කදරියා දේවලෝකං වජන්ති

බාලා හවෙ නප්පසංසන්ති දානං

ධීරෝ ච දානං අනුමෝදමානෝ

තේනේව සෝ හෝති සුඛී පරත්ථ.

(ධම්මපද - ලෝකවග්ග)

තද මසුරෝ දෙව් ලොවට නො යෙත්. බාලයෝ දීමට නො පසසන්නාහ. නුවණැත්තේ ම දීම අනුමෝදන් වන්නේ එයින් ම ඔහු පරලොව සැප ඇත්තේ වන්නේ ය - යනු එහි තේරුම ය.

පඤ්ච මච්ඡරියානි ආවාස මච්ඡරියං කුල මච්ඡරියං ලාභ මච්ඡරියං වණ්ණ මච්ඡරියං ධම්ම මච්ඡරියං

යනුවෙන් මච්ඡරිය පසක් දක්වා ඇත්තේ ය. වාසස්ථානය පිළිබඳ මසුරු බව ආවාස මච්ඡරිය නම් වේ. ප්‍ර‍ත්‍යය පහසුව ඇත්තා වූ සුවසේ විසිය හැකි ආවාසයක පන්සලක සංඝාරාමයක වෙසෙන භික්ෂුවක් ඒ ස්ථානයට වතින් සම්පූර්ණ අන්‍ය සිල්වත් භික්ෂූන් ගේ පැමිණීමට නො කැමති වේ නම් පැමිණියාහු ද වහා ආපසු යත්වා යි සිතා නම් ඒ ආවාස මච්ඡරිය ය. ස්ථානය දූෂණය කරන කෝලාහල කරන දුශ්ශීල භික්ෂූන් ගේ පැමිණීම නො ඉවසීම පැමිණියාහු ද වහා යත්වායි සිතීම, එබඳු භික්ෂූන් ස්ථානයෙන් බැහැර කිරීම ආවාස මච්ඡරිය නො වේ. ආවාසයට පැමිණෙන අන්‍ය භික්ෂූන්ට කරදර කරන බණින ධම්මික නමැති භික්ෂුව ජාති භූමියේ ආවාස සතකින්ම නෙරපන ලදුව අන්තිමට වාසස්ථානයක් නොමැති ව පිහිට සොයා බුදුරදුන් වෙත පැමිණි බව අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ සඳහන් වේ. එබඳු භික්ෂූන් ආවාසවලින් බැහැර කිරීම සුදුසු ය.

තමාගේ දායක පවුල්වලට නෑ පවුල්වලට අන්‍ය භික්ෂූන් ගේ පැමිණීම නො කැමති බව කුලමච්ඡරිය ය. මිනිසුන්ගේ ප්‍ර‍සාදය නැති වන පරිදි හැසිරෙන පාප භික්ෂූන්ගේ පැමිණීම නො කැමති වීම කුල මච්ඡරිය නො වේ. අන් භික්ෂූන්ට පැහැදී ඔවුන්ටත් සලකන්නට පටන් ගත හොත් තමාට පාඩුවක් වේ යයි සිතා ගුණවත් භික්ෂූන් ගේ පැමිණීම නො ඉවසීම ආවාස මච්ඡරිය ය.

අන්‍යයන් සිවුපසය ලබනවාට නො කැමති බව ලාභ මච්ඡරිය ය. යම් භික්ෂුවක් තමන්ට ලැබෙන ප්‍ර‍ත්‍යය ඥාති මිත්‍ර‍ ගිහියන්ට දී කුල දූෂණය කෙරේ නම් නො මනා ලෙස පරිභෝග කොට ප්‍ර‍ත්‍යය විනාශ කෙරේ නම් තමාට වැඩි හරිය කුණු වී යන්නට දිරා යන්නට හරිනවා මිස ප්‍රයෝජනය ඇතියකුට නො දේ නම් ඒ භික්ෂුවට මේවා නො ලැබී අන් සිල්වත් භික්ෂුවකට ලැබේ නම් යහපතැයි සිතීම ලාභ මච්ඡරිය නො වේ.

ශරීර වර්ණය හා ගුණ වර්ණය පිළිබඳ මසුරු බව වණ්ණ මච්ඡරිය වේ. ශරීර වර්ණ හෙවත් රූප ශෝභාව පිළිබඳ මසුරු තැනැත්තේ අන්‍යයන්ගේ රූප ශෝභාව කියනු ඇසීමට නො කැමති වේ. තෙමේ ද නො කියයි. ගුණ වර්ණයට මසුරු තැනැත්තේ අනුන්ගේ ශීලාදි ගුණ ගැන කියනු ඇසීමට නො කැමති වේ.

තමා දත් ධර්මය අන්‍ය භික්ෂූන් දැන ගන්නවාට නො කැමති බව ධර්ම මච්ඡරිය නම් වේ. පර්යාප්ති ධර්මය, ප්‍ර‍තිවේධ ධර්මය යි ධර්මය දෙ පරිදි වේ. ප්‍ර‍තිවේධ ධර්මය යනු මාර්ගඵල නිර්වාණයෝ ය. ඒවා ඇත්තේ ආර්‍ය්‍යයන්ට ය. ආර්‍ය්‍යයන්ට ඒවා ගැන මසුරු බවක් නැත. ඔවුහු තමන් ප්‍ර‍තිවේධ කර ඇති ධර්මය ලොව සැම දෙන ම ප්‍ර‍තිවේධ කරනවාට කැමැත්තෝ ය. ඇතැම් පෘථග්ජන භික්ෂූහු තමන් දැන සිටින ගැඹුරු ධර්මය අන් භික්ෂූන් දැන ගන්නවාට අකමැති ය. ඔවුහු ඒ ධර්ම අන් භික්ෂූන් ඇසුව ද නො කියති. එය ධම්ම මච්ඡරිය ය. තමාට වන වාසි අවාසි අනුව කලින් කල එක එක අතට හැරෙන කලකට පැවිදි වන කලකට ගිහි වන කලකට තාපස වන කලකට ක්‍රිස්තියානි වන ලාමක පුද්ගලයෝ වෙති. එබඳු ලාමක පුද්ගලයන් සියුම් වූ ගැඹුරු වූ ධර්මය උගතහොත් ඒ ධර්ම තමාට වාසි වන පරිදි තමා කැමති පරිදි තේරුම් කොට අවුල් කරන්නාහ. එබන්දන්ට ධර්ම නො දීම ධම්ම මච්ඡරිය නො වේ. ඇතැම් පාපී පුද්ගලයෝ සියුම් වූ ගැඹුරු වූ ධර්මයන් උගෙන ඒ මගින් තමන්ට නැත්තා වූ ලෝකෝත්තර ගුණ ප්‍ර‍කාශ කොට නැසෙන්නාහ. එවැනි අයට ඔවුන්ගේ යහපත සලකා ධර්මය නො දීමත් ධම්ම මච්ඡරිය නො වේ. ඇතැම්හු ධර්මය අවුල් කිරීම අවලංගු කිරීම පිණිස ම ධර්මය දැන ගැනීමට උත්සාහ කරති. ඔවුන්ට ධර්මය නො දීම ද ධම්ම මච්ඡරිය නො වේ. බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝකයා ගේ යහපත පිණිස සෑම දෙනාට ම දැන ගැනීම පිණිස දේශනය කර ඇති ධර්මය හැකි තාක් ලෝකයෙහි පැතිරවිය යුතුය. එය සැඟවීම ඉතා ලාමක ය. එබැවින් :-

ඉමේසං කෝ පඤ්චන්නං මච්ඡරියානං එතං පතිකුට්ඨං යදිදං ධම්මමච්ඡරියං යනු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. මච්ඡරියේ විපාක දම්සඟුණු අටුවාවෙහි මෙසේ දක්වා ඇත.

ආවාස මච්ඡරියෙන් යක්ෂයකු හෝ ප්‍රේතයකු හෝ වී, ඒ ආවාසයේ කසළ හිස තබා ගෙන හැසිරෙන්නේ ය. කුල මච්ඡරියෙන් තමාගේ දායකයන් නෑයන් අන්‍යයන්ට සත්කාර කරනු දක්නා කල්හි සිත උණු වී ලේ වමනය, ලේ පාචනය වන්නේ ය. ලාභ මච්ඡරියෙන් සංඝයාගේ ගණයාගේ ලාභයත් පුද්ගලික දේවල් මෙන් පරිභෝග කොට යක්ෂයකු හෝ ප්‍රේතයකු හෝ පිඹුරකු හෝ වන්නේ ය. වණ්ණ මච්ඡරියෙන් උපනුපන් තැන විරූප ව උපදී. ධම්ම මච්ඡරියෙන් උපනුපන් ජාතිවල මෝඩයෙක් වේ.

තවත් ක්‍ර‍මයක් මෙසේ ය. ආවාස මච්ඡරියෙන් ලොහොකුඹු නරකයෙහි උපදී. කුල මච්ඡරියෙන් අල්පලාභී වේ. ලාභ මච්ඡරියෙන් ගූථ නරකයෙහි උපදී. වණ්ණ මච්ඡරියෙන් උපනුපන් තැන විරූප වේ. ධම්ම මච්ඡරියෙන් කුක්කුල නරකයෙහි උපදී.

(අත්ථසාළිනි 315)

7. මායා 6. සාඨෙය්‍ය

පව්කම් කොට ඒවා සඟවන ස්වභාවය මායා නම් වේ. ඇතැම්හු තුමූ ම අනුන්ගේ බඩු සොරකම් කර හිමියා වෙත ගොස් ශෝකය පළ කෙරෙති. නැති වූ බඩු සෙවීමට සහාය වෙති. මේ මායාව ය. ඇතැම් පැවිද්දෝ ද තමන් කරන ලද වරද වසා ගැනීම සඳහා මහත් සංවරයක් දක්වති. වත් පිළිවෙත් කරති. මල් පහන් පුදති. ඒවායේ ආදීනව කියා දහම් දෙසති. අන්‍යයන් වරද කිරීම ගැන ශෝකය පළ කරති. බුදු සසුන බබලවන්නට සිල්වතුන් ඇති කරන්නට කථා කරති. මේ මායා කාරයන්ගේ ස්වභාවය ය. මායාවට බොහෝ දෙනා රැවටෙන්නාහ.මායාකාර මායාකාර තවුසකු ගැන ඇති ජාතක කථාවක් මෙසේ ය:-

අතීතයේ එක් ගමක් ඇසුරු කරමින් කූට තවුසෙක් විසීය. ඔහුගේ ඉරියව් දැක ඔහු කෙරෙහි පැහැදුණු ගම් වැසියෙක් ඔහුට වනයෙහි පන්සලක් සාදා දී එහි වාසය කරවා තමාගේ ගෙහි ම ඔහුට ප්‍ර‍ණීත භෝජනයෙන් උපස්ථාන කෙළේය. මේ වැසියා කූට තාපසයා මහ සිල්වතෙකැයි සිතා තමා වෙත තුබූ රන්කාසි සියයක් ආරක්ෂාව සඳහා කූට තවුසාගේ අසපුවට ගෙන ගොස් පොළොවෙහි වළලා ස්වාමීනි, මෙය බලාගන්නයයි කීය. පින්වත, පැවිද්දන්ට මෙවැනි කරුණු කීම නුසුදුසු ය. අපට අන් සතු වස්තුවෙහි ලෝභයක් නැතයයි තවුසා කීය. ගම් වැසියා එසේය ස්වාමීනි යි කියා ඔහුගේ කීම විශ්වාස කොට පෙරළා ගියේය. දින කීපයකට පසු කූට තවුසා මට වූයේ ගජ වාසියෙක, මේ මුදල මටසැපසේ ජීවත් වන්නට සෑහෙන්නේ ය යි බිම කැණ රන්කාසි සියය ගෙන වනයේ අන් තැනක සඟවා එදින පන්සලට වී සිට පසු දින ගම් වැසියාගේ නිවසට ගොස් ඔහු පිළියෙල කර තුබූ ප්‍ර‍ණීත භෝජනය බඩ පුරා වළඳා දායකයාට කථා කොට, පින්වත, අප ඔබ නිසා බෝ කලක් වාසය කර ඇත්තේ ය. වැඩි කල් එක් තැන විසීම පැවිද්දන්ට නුසුදුසු ය. එසේ විසීමෙන් ගිහියන් හා බන්ධනයක් වන්නේ ය. එය පැවිද්දට කිලුටෙක. එබැවින් මම අන් තැනකට යෙමියි කීය. ගම් වැසියා නො යන ලෙස නැවත නැවත යාච්ඤා කළ නමුත් තවුසා එය ප්‍ර‍තික්ෂේප කෙළේය. එකල්හි ගම්වැසියා තවුසා පිටත් කොට ගම් දොර දක්වා පසු ගමන් කොට පෙරළා ආයේය. කූට තවුසා මඳක් දුර ගොස් ගම්වැසියා වැඩි දුරටත් රවටන්නට සිතා ජටාවෙහි තණපටක් රඳවා ගෙන ඒ නිවසට නැවත ද ආයේ ය. ගම්වැසියා තවුසා දැක ස්වාමීනි, කුමට පෙරළා වැඩම කළ සේක්දැයි ඇසූ කල්හි පින්වත, ඔබගේ නිවසේ පියැස්සෙන් එක් තණපතක් මාගේ ජටාවෙහි රැඳී තිබුණේ ය. සුළු වූ ද අන් සතු දෙයක් ගෙන යාම පැවිද්දන්ට නුසුදුසු බැවින් එය ගෙන ආමියි කීය. ගම්වැසියා ස්වාමීනි, තණපත විසි කර යනු මැනවැයි කියා මාගේ තාපසයන් වහන්සේ තණපතක් පමණ වූද, අන්සතු වස්තුවක් නො ගනිතියි වඩාත් පැහැදී වැඳ තවුසා පිටත් කෙළේය.

බෝසතාණන් වහන්සේ බඩු සෙවීම පිණිස ප්‍ර‍ත්‍යන්තයට ගියාහු එදින ඒ ගෙයි නවාතැන් ගෙන සිටියහ. උන්වහන්සේ ඒ ක්‍රියාව දැක සැක සිතී යහළුව, ඔබ මේ තවුසා වෙත කිසි ධනයක් තබා ඇත්තේ දැයි අසා එසේය යි කී කල්හි වහා ගොස් විමසන්නය යි කීහ. ගම්වැසියා වහා ගොස් බලා රන් කාසි සියය නො දැක වහා අවුත් ඒ බව බෝසතාණන්ට කීය. එකල්හි බෝසතාණෝ ඔබගේ මුදල් ගත්තේ අනිකකු නොව මේ කූට තවුසා ම ය. වහා ගොස් ඔහු අල්ලා ගෙනෙවුය යි ගම්වැසියන් කැඳවා ගෙන ලුහුබැඳ ගොස් තවුසා අල්ලා තවුසාට අතින් පයින් තළා රන් කාසි ලබා ගත්හ. බෝසතාණෝ මතු එබඳු පව්කම් නො කරන ලෙස අවවාද කොට තාපසයා පිටත් කළහ. මායා කාරයෝ ඒ කූට තවුසා වැන්නෝ ය.

ලාභ සත්කාරාශාවෙන් තමා තුළ නැති ගුණ ඇති ලෙස හැඟවීම සාඨෙය්‍ය නම් වේ. දුශ්ශීලව හිඳ සිල්වතකු බව හඟවන ස්වභාවය, ගමෙහි වෙසෙමින් ආරණ්‍යකයකු ලෙස හඟවන ස්වභාවය, ශ්‍ර‍ද්ධාව නැති ව ශ්‍ර‍ද්ධාව ඇතියකු ලෙස හඟවන ස්වභාවය, උගතකු නොවී උගතකු ලෙස හඟවන ස්වභාවය, පෘථග්ජනව සිට ආර්‍ය්‍යයකු ලෙස හඟවන ස්වභාවය සාඨෙය්‍ය නම් ක්ලේශය ය. මායා සාඨෙය්‍ය යන මේ දෙක තරමක් එකිනෙකට සමාන ය. ධ්‍යානාභිඥා මාර්ග ඵල යන මේ උත්තරී මනුෂ්‍ය ධර්මයන්තමා කෙරෙහි නැතිව ඇතය යි පැවසීම ඉතා ම නපුරු පාපයෙකි.

සදේවකෙ භික්ඛවේ ලෝකේ සමාරකේ සබ්‍ර‍හ්මකේ සස්සමණ-බ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය අයං අග්ගෝ මහා චෝරෝ යෝ අසන්තං අභූතං උත්තරී මනුස්සධම්මං උල්ලපති.

(පාරාජිකා පාලි)

 

මහණෙනි, යමෙක් තමා කෙරෙහි නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මය ඇතැයි පවසා නම් හෙතෙමේ දෙවියන් සහිත මාරයන් සහිත බ්‍ර‍හ්මයන් සහිත ලෝකයෙහි ශ්‍ර‍මණබ්‍රාහ්මණයින් සහිත දෙව් මිනිසුන් සහිත සත්ත්ව සමූහයෙහි අග්‍ර‍ වූ මහා චෞරයාය යනු එහි තේරුම ය.

9. අවිජ්ජා 10. භවතණ්හා

ඒ ඒ දෙය නො වරදවා ඇති සැටියට ම දැන ගැනීමට සමර්ථ වූ නුවණ විජ්ජා නම් වේ. ආලෝකයට විරුද්ධ වූ අන්ධකාරය මෙන් ඒ ඒ දෙයෙහි ඇති සැටිය වසන ස්වභාවය අවිජ්ජාව නම් වේ. මේ අවිද්‍යාව කෙලෙසුන්ගෙන් ප්‍ර‍ධාන ක්ලේශය බව කිය යුතුය. අවිද්‍යාවෙන් තොරව ඇති වන ක්ලේශයක් නැත. සියලු ම කෙලෙසුනට අවිද්‍යාවේ සහාය වුවමනා ය. අවිද්‍යාව නැති වුවහොත් අන් එක් ක්ලේශයකුදු ඇති නො වේ. ජලය හා මිශ්‍ර‍ වී ජලයෙහි පැතිර පවත්නා සායමක් මෙන් මේ අවිද්‍යාවත් සිත හා බැඳී සිත හා මිශ්‍ර‍ව සිතේ පැතිර පවතී. අඳුරේ ඇති වස්තූන් දෙස බලන්නකුට ඒ වස්තූන් ඇති සැටියට නොව අන් ආකාරයකට පෙනෙන්නාක් මෙන් අවිද්‍යා සහගත සිතට ද ඒ ඒ ධර්මය ඇති සැටියට නොදැනී අන් ආකාරයකින් දැනේ. ඇති සැටියට නො දැනෙන බැවින් අවිද්‍යාවට අඤ්ඤාණ හෙවත් නො දැනීම ය යි කියනු ලැබේ. ලෝකයේ දත යුතු දෑ බොහෝ ය. ඒවායින් යමකට සිත යොමු කරන ලද නම් ඒ දෙය දැනේ. සිත යොමු නො කළ දෙය නො දැනේ. ඒ නො දැනීම අවිද්‍යාව නොවන බව දත යුතු ය. අවිද්‍යාව ප්‍ර‍හාණ කළ රහතුන්ට ද සිත යොමු කළ දෙය හැර අනිකක් නො දැනේ.

අවිද්‍යා සහගත සිතට රූපය රූපයක් ලෙස නොව සත්ත්වයකු ලෙස දැනේ. අනිත්‍ය වූ රූපය නිත්‍ය ලෙස දැනේ. අශුභ වූ රූපය ශුභයක් ලෙස දැනේ. දුඃඛයක් වූ රූපය සුවයක් ලෙස දැනේ. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ද එසේ ම වැරදි ලෙස දැනේ.

දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛ සමුදයේ අඤ්ඤාණං,

දුක්ඛ නිරෝධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා

පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තේ අඤ්ඤාණං,

අපරන්තේ අඤ්ඤාණං, පුබ්බාපරන්තේ අඤ්ඤාණං,

ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නේසු අඤ්ඤාණං

(ධම්මසංගණී)

 

මෙසේ අභිධර්මයෙහි කරුණු අටකින් අවිද්‍යාව දේශනය කර ඇත්තේ ය. තවත් ක්‍ර‍මයකින් කියතහොත් අෂ්ටාකාර අවිද්‍යාවක් දේශනය කර ඇත්තේ ය. දුක නොදැනීම, දුක් ඇති වීමේ හේතුව නො දැනීම, දුක්ඛ නිරෝධය නො දැනීම, දුක්ඛ නිරෝධයට පැමිණීමේ ක්‍ර‍මය නො දැනීම, තමාගේ ස්කන්ධ පරම්පරාවෙහි පූර්ව කොට්ඨාසය නො දැනීම, අනාගත කොට්ඨාසය නො දැනීම, අතීතානාගත දෙකොට්ඨාසය ම නො දැනීම, ස්කන්‍ධ පරම්පරවේ හේතු ඵල ක්‍ර‍මය වන පටිච්ච සමුප්පාදය නො දැනීම යනු අභිධර්මයෙහි දැක්වෙන අෂ්ටප්‍ර‍කාර අවිද්‍යාව ය.

උපාදානස්කන්ධ පඤ්චකය දුකෙකි. එහෙත් ආර්‍ය්‍යධර්මය නො දත් පෘථග්ජනයාට පෙනෙන්නේ එය ඉතා හොඳ දෙයක් සැපයක් ලෙස ය. උපාදාන ස්කන්ධ පඤ්චකය නැති වෙතැයි කියතහොත් ඔහුට ඇති වන්නේ මහත් බියෙකි. උපාදාන ස්කන්ධය දුකක් වශයෙන් නො ගෙන හොඳ දෙයක් සැපයක් වශයෙන් ගැනීම දුඃඛය නො දැනීම හෙවත් වැරදි ලෙස දැන ගැනීම වූ අවිද්‍යාව ය.

පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය නො සිඳී නො නිවී ඉදිරියට දිගින් දිගට ඇති වන්නේ තණ්හාව නිසා ය. එය තේරුම් ගැනීම වඩාත් අපහසු ගැඹුරු කරුණෙකි. අවිද්‍යා සහගත සිතට තණ්හාවෙහි ඇති දුක් ඉපදවීමේ හේතුභාවය නො පෙනේ. එයට පෙනෙන්නේ තණ්හාව සැපයට හේතුවක් ලෙස ය. එසේ ඇති වන වැරදි දැනීම දුක් ඇති වීමේ හේතුව නො දැනීම වූ අවිද්‍යාව ය.

පඤ්චස්කන්ධයාගේ අනුත්පාද නිරෝධය හෙවත් නිවන අවිද්‍යා සහගත සිතට නො දැනේ. ඒ නිවන ගැන කියනු ඇසුවහොත් අවිද්‍යා සහගත සිතට දැනෙන්නේ එය ඉතා නපුරක් ලෙස ය. දුඃඛ නිරෝධය පිළිබඳ ව ඇති වන ඒ වැරදි දැනීම දුඃඛ නිරෝධය නො දැනීම ය යි කියන ලද අවිද්‍යාව ය.

දුඃඛ නිරෝධයට පැමිණීමේ ප්‍ර‍තිපදාව අවිද්‍යා සහගත සිතට දැනෙන්නේ පලක් නැති කරදර වැඩක් සේ ය. දුකක් සේ ය. දුඃඛ නිරෝධයට පැමිණීමේ ප්‍ර‍තිපදාව පිළිබඳ වූ ඒ වැරදි දැනීම දුකින් මිදීමේ මග නො දැනීම නමැති අවිද්‍යාව ය.

අතීත භවයන්හි වූ ස්කන්ධයන් ස්කන්ධ සැටියට නාමරූප ධර්ම සැටියට තේරුම් ගත නොහී, මා අතීතයේ දෙවියෙක්ය මිනිසෙක්ය යනාදීන් අතීත නාමරූපයන් පිළිබඳ ව ඇතිවන වැරදි හැඟීම් අතීත කොට්ඨාස නො දැනීම යයි කියන ලද අවිද්‍යාව ය.

මම මතු දෙවියෙක් වෙමි ය මිනිසෙක් වෙමි ය යනාදීන් අනාගත ස්කන්ධයන් පිළිබඳ ව ඇති වන වැරදි හැඟීම් අපරන්තය නො දැනීම යයි කියන ලද අවිද්‍යාවය.

අතීතයේ විසුයේත් මමය අනාගතයෙහි වෙසෙන්නේත් මමය කියා අතීතානාගත ස්කන්ධයන් සම්බන්ධයෙන් ඇති වන වැරදි හැඟීම පුබ්බාපරන්තේ අඤ්ඤාණං යනුවෙන් දැක්වෙන අවිද්‍යාව ය.

හේතුඵල පරම්පරාවක් වන මේ නාම රූප ධර්ම රාශිය එක් දෙයක් වශයෙන් වරදවා දැනීම පටිච්ච සමුප්පාදය නො දැනීම නමැති අවිද්‍යාව ය.

ඛන්ධ සංයුත්තයේ චූළපණ්ණාසකයේ අවිජ්ජාවග්ගයේ අවිද්‍යාව දැක්වෙන සූත්‍ර‍ දශයක් එන්නේ ය. ඒ සූත්‍රයෙහි අවිද්‍යාව විස්තර කර ඇත්තේ පඤ්චස්කන්ධය අනුව ය. ඉන් එක් සූත්‍ර‍යක අවිද්‍යාව දක්වා ඇත්තේ මෙසේය.

ඉධ භික්ඛු! අස්සුතවා පුථුජ්ජනො සමුදයධම්මං රූපං සමුදයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති, වයධම්මං රූපං වයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති, සමුදයධම්මං රූපං සමුදයවයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති, සමුදයධම්මං වේදනා සමුදය ධම්මා වේදනාති යථාභූතං නප්පජානාති, වයධම්මං වේදනා වයධම්මා වේදනාති යථාභූතං නප්පජානාති, සමුදයවයධම්මා වේදනා සමුදයධම්මං සඤ්ඤං සමුදය ධම්මා සඤ්ඤාති යථාභූතං නප්පජානාති, වයධම්මං සඤ්ඤං වයම්මා සඤ්ඤාති යථාභූතං නප්පජානාති, සමුදයවයධම්මං සඤ්ඤං සමුදයවයධම්මා සඤ්ඤාති යථාභූතං නප්පජානාති, සමුදයධම්මේ සංඛාරේ සමුදය ධම්මා සංඛාරාති යථාභූතං නප්පජානාති, වයධම්මේ සංඛාරේ වයධම්මා සංඛාරාති යථාභූතං නප්පජානාති. සමුදයවයධම්මේ සංඛාරේ සමුදයවයධම්මා සංඛාරාති යථාභූතං නප්පජානාති, සමුදයධම්මං විඤ්ඤාණං සමුදයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති, වයධම්මං විඤ්ඤාණං වයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති, සමුදයවයධම්මං විඤ්ඤාණං සමුදයවයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති අයං වුච්චති භික්ඛු අවිජ්ජා.

රූපය ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා ස්වභාවය ඇතියක් බව බිඳෙන ස්වභාවය ඇතිවයක් බව ඇති වන නැති වන ස්වභාවය ඇතියක් බව නොදන්නේ නම් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ද එසේ නො දන්නේ නම් ඒ නො දැනීම අවිද්‍යාව යනු ඒ සූත්‍රයේ කෙටි තේරුම ය.

මේ අවිද්‍යාව ලෝකය යට කර ගෙන වසා ගෙන සිටින මහා ක්ලේශය ය. එබැවින් අවිජ්ජාය නිවුතෝ ලෝකෝයි වදාරා ඇත. ලෝකයේ සියලුම පෘථග්ජනයන් වැඩ කරන්නේ අවිද්‍යාව තුළ සිටගෙන ය. අවිද්‍යාව ඇති පුද්ගලයාට තමාගේ අවිද්‍යාව නො දැනේ. ඔහුට දැනෙන්නේ තමාගේ අවිද්‍යාව විද්‍යාව ලෙසය. අවිද්‍යාව නිසා වරක් වූ මුළාව වරක් ඇති වූ වැරදි හැඟීම ස්ථිර වීමට නොයෙක් හේතුදාහරණ ඒ අවිද්‍යාව ම මතු කර දෙන්නේ ය. මරණින් මතු නැවත උපතක් ඇති බව අවිද්‍යාව වසයි. එබැවින් අවිද්‍යාසහගත පුද්ගලයා මරණින් මතු නැවත උපතක් නැතැයි සිතයි. එය ඔප්පු කිරීමට නොයෙක් හේතුදාහරණ ඒ අවිද්‍යාවෙන් ම මතු කරනු ලැබේ. මුළා වූවහුට එය අවිද්‍යාව බව නො දැනේ. ඔහුට දැනෙන්නේ මුළාව ඔප්පු කිරීමට හේතුදාහරණ මතු කර දෙන අවිද්‍යාව විද්‍යාව ලෙස ය. ඒවා විද්‍යාව ලෙස දැනීමත් අවිද්‍යාව ම ය.

සත්ත්වයාත් ලෝකයත් ඉබේ ම ඇති වූයේ ය, කෙනකු විසින් මවන ලද්දේය, සුව දුක් විඳින ඒ ඒ කටයුතු සංවිධානය කරන ශරීරය හා සිත ස්වවශයෙහි පවත්වන කිසිකලෙක නො මැරෙන ජාතියෙන් ජාතියට යන ආත්මයක් ඇත්තේ ය, කුමක් කළත් එයින් පිනක් හෝ පවක් නො වන්නේය, පින් පව් වලින් වන ඵලයක් නැත ය යන මේ දෘෂ්ටි ඇති වන්නේ පටිච්ච සමුප්පාදය ආවරණය කරගෙන සිටින අවිද්‍යාව නිසා ය. ඒ ඒ දෘෂ්ටි ගෙන සිටින අයට ඒවා ඔප්පු කිරීමට නොයෙක් හේතු යුක්ති මතු කර දෙන්නේ ද අවිද්‍යාවෙන් ම ය.

ප්‍ර‍ඥාව කිසි කලෙක පව්කම් කිරීමට සහාය වන ධර්මයක් නො වේ. ලෝභය දෘෂ්ටිය විතර්කය විචාරය චිත්තය යන මේ ධර්මයන්ට එකතුව ඒවායේ උපකාරයෙන් මේ අවිද්‍යාව අකුශල කරණයේ දී ප්‍ර‍ඥාව මෙන් ක්‍රියා කරන්නේ ය. එසේ ක්‍රියා කරන විද්‍යාවේ මුහුණුවර ඇති අවිද්‍යාවට ලෝකයෙහි කියන්නේ නුවණය කියා ය. සතුන් මැරීමේ නුවණ, සතුන් මරණ උපකරණ තැනීමේ නුවණ, යුද කිරීමේ නුවණ, යුද අවි තැනීමේ නුවණ, සොරකම් කිරීමේ නුවණ, මිථ්‍යාචාරය පිළිබඳ නුවණ, වඤ්චා කිරීමේ නුවණ යන මේවා සැබෑ නුවණ නොව විද්‍යා රූපයෙන් ඇති වන අවිද්‍යාව ය.

අර්හත්වයට පැමිණෙන තුරු අවිද්‍යාව පවතී. එහෙත් උපක්‍ර‍මයෙන් එය තුනී කර ගත හැකිය. ආර්යධර්ම උගෙනීම, සත් පුරුෂ සේවනය, භාවනාවෙහි යෙදීම, කාමයන්ගෙන් ඈත්වීම යන මේවායින් ආර්ය විද්‍යාව ඇති කර ගත හැකිය. අවිද්‍යාව තුනී කර ගත හැකිය. ලෝකයෙහි ඇති බොහෝ උගෙනීම්වලින් සිදුවන්නේ අවිද්‍යාව දියුණුවීම හා තහවුරු වීම ය. ඇතැම් පොත් කියවීමෙන් ද එසේ ම වේ.

සේවෙථ වුද්ධෙ නිපුණේ බහුස්සුතේ

උග්ගාහකෝ ච පරිපුච්ඡකෝ සියා

සුණෙය්‍ය සක්කච්ච සුභාසිතානි

එවං කරෝ පඤ්ඤවා හෝති මච්චෝ

(සරභංග ජාතක)

තියුණු නුවණැති වෘද්ධ බහුශ්‍රැතයන් (උගතුන්) සේවනය කරන්නේය. උගන්නා වූ ද පිළිවිසීම් කරන්නා වූ ද පුද්ගලයෙක් වන්නේ ය. සුභාෂිතයෙන් මනා කොට අසන්නේ ය. එසේ කරන මනුෂ්‍යයා ප්‍ර‍ඥාව ඇතියෙක් වන්නේය යනු ගාථාවෙහි තේරුම ය.

භවතණ්හා

කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යි තණ්හා තුනක් ඇත්තේ ය. රූපාරූප භව පිළිබඳ වූ ද රූපාරූප භවයන්හි ඉපදීමට හේතු වන රූපාරූපධ්‍යාන පිළිබඳ වූ ද තණ්හාව භවතණ්හා නම් වේ.

බ්‍ර‍හ්මපාරිසජ්ජ බ්‍ර‍හ්මපුරෝහිත මහාබ්‍ර‍හ්මය යි ප්‍ර‍ථමධ්‍යාන භූමි තුනෙකි. පරිත්තාහ අප්පමාණාභ ආභස්සරය යි ද්විතීයධ්‍යාන භූමි තුනෙකි. පරිත්තසුභ අප්පමාණසුභ සුභකිණ්ණය යි තෘතීයධ්‍යාන භූමි තුනෙකි. වේහප්ඵලය අසඤ්ඤසත්තය අවිහය අතප්පය සුදස්සය සුදස්සීය අකණිට්ඨය යි චතුර්ථධ්‍යාන භූමි සතකි. මේ භූමි සොළස රූපාවචර බ්‍ර‍හ්මලෝකයෝ ය. ආකාසානඤ්චායතන ය, විඤ්ඤාණඤ්චායතන ය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානා-සඤ්ඤායතනයයි අරූපාවචර භූමි සතරෙකි. භවතණ්හා යන මෙහි භවය යි කියැවෙන්නේ ඒ විස්සක් වන රූපාරූප භූමීන්හි ඇති ස්කන්ධයන් හා ධ්‍යානයන් ය. මේ භව තණ්හාව සත්ත්වයාහට නිවනට යන්නට නො දී රූපාරූප භවයන් හි ඔහු බැඳ තබයි. සිත අඳුරු කරන බැවින් එය ක්ලේශයකි.

11. භවදිට්ඨි 12. විභවදිට්ඨි

ජාතියෙන් ජාතියට යෙමින් සුව දුක් විඳින නො මැරෙන ආත්මයක් ඇත යන දෘෂ්ටිය භවදිට්ඨි නම් වේ. ශාස්වත දෘෂ්ටිය යනු ද එයට නමෙකි. මේ ශාස්වත දෘෂ්ටිය මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයන් ලැබීමට බාධාවක් වුව ද ස්වර්ග සම්පත්තියට බාධක නො වේ. ඒ දෘෂ්ටිය ඇත්තෝ ආත්මය සැපවත් කරනු සඳහා පිනවනු සඳහා පින් කොට ස්වර්ගයෙහි උපදිති. ආත්මය දුකට පත් නො කොට රැකීම පිණිස පව්කම් වලින් වලකිති.

මරණින් මතු ආත්මය සිඳෙන්නේය, කෙළවර වන්නේය යන දෘෂ්ටිය විභවදිට්ඨි නම් වේ. උච්ඡේද දෘෂ්ටිය යනු ද එයට නමෙකි. එය බුදුන් කල විසූ අජිතකේසකම්බල විසින් පවසමින් සිටි දෘෂ්ටිය ය. මිනිසා පඨවි ආපෝ තේජෝ වායෝ යන භූතයන් ගේ පිණ්ඩයෙක, මළ පසු ශරීරයේ පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවටත් ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුවටත් තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවටත් වායෝ ධාතුව බාහිර වායෝ ධාතුවටත් වන්නේය. ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ. එයින් සත්ත්වයා කෙළවර වන්නේය. දුන්නා වූ යාග පූජා ද්‍ර‍ව්‍ය අලුවීමෙන් කෙළවර වන්නේ ය. දානය මෝජයන් ගේ වැඩක් ය යනු ඔහු පවසන දෘෂ්ටිය ය.

එය සුගති, මාර්ග, ඵල, නිර්වාණ යන සියල්ල ම ආවරණය කරන නපුරු දෘෂ්ටියෙකි. ඒ දෘෂ්ටියෙහි පිහිටා සිටිනුවන් මරණින් පසු නැවත උපතෙක් නැතය කියා පිළිගෙන සිටිය ද ඔවුනට අපායෙන් නො ගැලවිය හැකි ය. පින්පව් ප්‍ර‍තික්ෂේප කරන මිථ්‍යාදෘෂ්ටියට කියනුයේ නියත මිථ්‍යාදෘෂ්ටිය කියා ය.

එහි තේරුම මරණින් මතු ඒකාන්තයෙන් ම අපායට යාමට නියත මිථ්‍යාදෘෂ්ටිය යනු යි. වරදවලින් ලොකු ම වරද මිථ්‍යාදෘෂ්ටිය බව:-

නාහං භික්ඛවෙ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහාසාවජ්ජං, යථයිදං භික්ඛවේ මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨි පරමානි භික්ඛවෙ වජ්ජානි.

(අංගුත්තර ඒකක නිපාත)

යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. ආනන්තර්ය කර්ම කළවුන් කල්ප විනාශයේ දී නරකයෙන් මිදෙන බවත් නියත මිථ්‍යා දෘෂ්ටිකයා කල්පවිනාශයේ දී ද නරකයෙන් නො මිදී විනාශ නොවූ ලෝකයක පාපයට වැටී පැසෙන බවත් මනෝරථපූරණී අටුවාවෙහි කියා ඇත්තේ ය.

13. සස්සතදිට්ඨි 14. උච්ඡේද දිට්ඨි

සස්සත දිට්ඨි උච්ඡේද දිට්ඨි යන වචන වලින් කියැවෙන්නේ භවදිට්ඨි විභවදිට්ඨි දෙක ම ය.

 

15. අන්තවාදිට්ඨි 16. අනන්තවාදිට්ඨි

ආත්මය ආකාශය සේ කොනක් නැති ඉතා මහත් දෙයක් නොව පර්යන්තයක් ප්‍ර‍මාණයක් ඇතියක්ය යන දෘෂ්ටිය අන්තවාදෘෂ්ටි නමි. ආත්මයෙහි පර්යන්තයක් නැත, එය අති විශාලය යන දෘෂ්ටිය අනන්තවාදිට්ඨි නම් වේ. ආත්මදෘෂ්ටිකයෝ ඔවුන්ගේ හැඟීම් අනුව අනේකාකාර ආත්ම ප්‍ර‍කාශ කෙරෙති. ඇතැමුන්ගේ හැඟීම් අනුව ආත්මය කුඩාය. ඇතැමුන්ගේ හැඟීම් හැටියට ආත්මය විශාල ය. කසිණ භාවනාව කරන්නෝ තමන් විසින් ලබා ඇති කසිණ නිමිත්ත කෙමෙන් මඳින් මඳ මහත් කොට සිතති. ඔවුනට ඔවුන් ගේ සිත් අනුව කසිණ නිමිත්ත මහත් මහත් වී වැටහෙයි. ඇතැමෙක් තමාට වැටහෙන කසිණ නිමිත්ත පමණට, තමාගේ සිතත් ආත්මයත් ඇතිය යි කසිණයේ ප්‍ර‍මාණයෙන් ආත්මය ප්‍ර‍මාණ කරයි. ඔහුට කසිණය සේ ම ආත්මයත් පර්‍ය්‍යන්තයක් ඇතියක් ය යන දෘෂ්ටිය ඇති වේ. ආත්මය ගැන සොයන ඇතැම් තාර්කිකයන්ට හා නිගණ්ඨයන්ට හා ආජීවකයන්ට මේ දෘෂ්ටිය ඇති වන බව කියා තිබේ. උත්පත්තියෙන් සත්ත්වයා පූර්වාන්තය ඇතියෙක, මරණයෙන් අපරාන්තය ඇතියෙකැයි ගන්නා උච්ඡේදවාදීන්ට ද මේ දෘෂ්ටිය ඇති වන බව කියනු ලැබේ. කසිණ නිමිත්ත ප්‍රමාණයක් නැති තරමට මහත් කොට වැඩූ අයට කසිණ නිමිත්ත අනුව ආත්මය අන්තරහිතය යන දෘෂ්ටිය ඇති වේ.

 

17. පුබ්බන්තානුදිට්ඨි 18. අපරන්තානුදිට්ඨි

පුබ්බන්ත යනු අතීත කොට්ඨාසය ය. අපරන්ත යනු අනාගත කොට්ඨාසය ය. සමහරුන්ට තමාගේ අතීත භව පරම්පරාව දැකිය හැකි ශක්තිය ඇති වේ. මම අතීතයේ මෙබඳු ශරීර ඇති ව මේ මේ නම් ඇතිව මෙ බඳු සැපදුක් ඇතිව විසුවෙමි යි අතීත ස්කන්ධ පරම්පරාව එක් කොට ආත්ම වශයෙන් ගැනීම පුබ්බන්තානු දිට්ඨිය ය. මේ ශීලයේ බලයෙන් මේ දානයේ මේ භාවනාවේ මේ පූජාවේ බලයෙන් අනාගතයෙහි මිනිසෙක් වෙමිය දෙවියෙක් වෙමිය යනාදීන් අනාගත ස්කන්ධ පරම්පරාව ඒකත්වයෙන් ගෙන එය ආත්ම වශයෙන් ගැනීම අපරන්තානුදිට්ඨිය ය.

 

19. අහිරික 20. අනොත්තප්ප

පාපය අසූචිය සේ පිළිකුල් දෙයකි. පව් කිරීම මුහුණෙහි අසූචි තවරා ගැනීම වැනි ලැජ්ජා විය යුතු දෙයකි. එසේ වූ පාපය පිළිකුල් නො කරන පව් කිරීමට ලැජ්ජා නො වන ස්වභාවය අහිරික නම් වේ. පාපය උසස් දෙයක් කොට සැලකීම, පව්කිරීම සම්මානයට සුදුස්සක් කොට සැලකීම අහිරිකය ය. මෙලොව පරලොව දෙක්හි ම අනිෂ්ට විපාක ලැබෙන දෙයක් බැවින් පාපය බිය විය යුත්තකි. පාපයට බිය නො වන ස්වභාවය අනොත්තප්ප නම් වේ. පව් කිරීම වික්‍ර‍මයක් කොට සැලකීම අනොත්තප්පය ය. අහිරික අනොත්තප්ප යන මේ චෛතසික ධර්ම දෙක ඔවුනොවුන්ගෙන් වෙන් නොවූ සැම කල්හි ම එක්ව එක සිතක ඇතිවන ධර්ම දෙකකි. මේ දෙක අකුසලකරණයට ඇති මහා බල දෙක ය. මේ බල දෙක නැතිනම් පිළිකුල් කළ යුතු බිය විය යුතු අකුශලයන් නො කළ හැකි ය. ප්‍රාණවධය ලජ්ජා විය යුතු පාපයෙකි. එය කළ හැකි වන්නේ අහිරික අනොත්තප්පයන්ගේ බලයෙනි. මිනී මැරීම ඉතා භයානක පාපයෙකි. ඇතැමුන් එය කරන්නේ අහිරික අනොත්තප්පයන්ගේ බලයෙනි. මිනීමරුවන් හා මෙපමණ මිනිසුන් මරා ඇත්තේ ය යි ආඩම්බර වන්නේ නිර්භීත භාවය පවසන්නේ අහිරික අනොත්තප්ප බලයෙනි. පිළිකුල් කළ යුතු බිය විය යුතු සොරකම් කරන්නේ ද, පරදාර සේවනය කරන්නේ ද, බොරු කියන්නේ ද, සුරාපානය කරන්නේ ද, අහිරික අනොත්තප්ප බලයෙන් ම ය. අහිරික අනොත්තප්ප දෙකට විරුද්ධ හිරි ඔත්තප්ප නම් වූ කුශල පක්ෂයට අයත් ධර්ම දෙකක් ඇත්තේ ය. ද්වේ මේ භික්ඛවේ ඡ ධම්මා සුක්කා ලෝකං පාලෙන්ති. කතමේ ද්වේ හිරී ච ඔත්තප්පං ච යනුවෙන් හිරි ඔත්තප්ප ධර්ම දෙක ලෝකය පාලනය කරන ධර්මයෝ ය යි වදාරා ඇත්තේ ය. ලෝකය රැකෙන්නේ හිරි ඔත්තප්ප දෙකෙනි. මිනිසුන් අතර ඒ ධර්ම දෙක නැති නම් මාපියන් දූදරුවන් සහෝදර සහෝදරියන් වෙනසක් නැතිව හැසිර මිනිස් සමූහයත් තිරිසනුන් වන්නාහ. ඒ දේශනය අනුව අහිරික අනොත්තප්ප යන මේ ධර්ම දෙක ලෝකනාශක ධර්මයයි කිය යුතුය.

හිරිඔත්තප්ප සම්පන්නා - සුක්කධම්ම සමාහිතා.

සන්තෝ සප්පුරිසා ලෝකේ - දේවධම්මානි වුච්චරේ

(ජාතකපාලි)

 

යනුවෙන් හිරි ඔතප් දෙක දේවධර්මය යි වදාරා ඇත්තේ ය. ඒ අනුව අහිරික අනොත්තප්ප දෙක තිරශ්චීන ධර්මය යි කිය යුතු ය. ඒ ධර්ම දෙක ඇති බැවින් තිරිසනාට වළකින්නට දෙයක් නැත. කිනම් නීච ක්‍රියාවක් වුවද තිරිසනාට කළ හැකි ය.

අජේගුච්ඡ අහිරිකෝ - පාපා ගූථාව සූකරෝ

අහීරු ච අනොත්තප්පී - සලහෝ විය පාවක.

ගූථය පිළිකුල් නො කරන සූකරයා මෙන් අහිරිකයා පාපය පිළිකුල් නො කරන්නේ ය. පළඟැටියා ගින්නට බිය නො වන්නාක් මෙන් අනොත්තප්පය ඇත්තේ පාපයට බිය නො වන්නේ ය.

අහිරික අනොත්තප්ප නමැති ලෝක නාශක තිරශ්චීන ධර්ම දෙක හිරිඔතප් නමැති ලෝකපාලක බල ධර්ම දෙක ඇති කර ගැනීමෙන් දුර ලිය යුතුය. ජාතිය වයස ශූරභාවය උගත්බව යන මේ කරුණු සලකා අහිරිකය දුරු කළ හැකිය. මේ පව් කිරීම වැදි කෙවුල් සැඩොල් ආදීන්ට මිස මා වැනි ජාතිසම්පන්නයකුට නුසුදුසුය යි සැලකීමෙන් හිරිය ඇතිවී අහිරිකය දුරු වේ. මේ පව් කිරීම කොල්ලන් කෙල්ලන්ට මිස මා වැනි වෘද්ධයකුට නුසුදුසුය යි වයස සැලකීමෙන් හිරිය ඇති වී අහිරිකය දුරු වේ. පව් කිරීම කිසිවකට සමත් කමක් නැති අවාසනාවත් පුද්ගලයන්ට මිස දැහැමින් ජීවත් වීමට සමත් මා වැනියන්ට නුසුදුසුය යි ශූරභාවය සැලකීමෙන් හිරිය ඇති වී අහිරිකය දුරු වේ. පව්කම් කිරීම අඥයන්ගේ ක්‍රියාවෙක, මා වැනි පණ්ඩිතයකු උගතකුට පව් කිරීම නුසුදුසු ය යි උගත් බව සැලකීමෙන් ද හිරිය ඇති වී අහිරිකය දුරු වේ. පව් කිරීමෙන් මෙ ලොව සිදු විය හැකි සත්පුරුෂයන් විසින් බැහැර කරනු ලැබ බොහෝ ජනයාගේ පිළිකුලට භාජනවීම, අපකීර්තිය පැතිරීම, දඬුවම් ලැබීම යන මේවාත් මරණින් මතු අපාගත වීමත් සැලකීමෙන් ඔත්තප්පය ඇති වී අනොත්තප්පය දුරු වේ.

21. දෝවචස්සතා 22. පාපමිත්තතා

ගුරුවරුන්ගේ හා මාපියන්ගේ ද අවවාද පිළිගැනීමට සුදුසු අන් දැනුමැතියන්ගේ ද අවවාදයන් අනුශාසනයන් නො පිළිගන්නා ස්වභාවය දෝවචස්සතා නම් වේ. එනම් අකීකරු බව ය. පුද්ගලයකු දුරුවල වන්නේ රාග ද්වේෂ මෝහ මානාදීන් නිසා ය. බොහෝ තරුණ තරුණියෝ රාගයෙන් මඩනා ලදුව මාපියාදි හිතවතුන්ගේ අවවාද නො පිළිගෙන සිය කැමැත්තට අනුව ක්‍රියා කොට විනාශයට පත් වෙති. ඇතැම් පැවිද්දෝ ද රාගය නිසා ආචාර්යෝපාධ්‍යායයන් ගේ අවවාදයට අනුකූල නොවී පැවිද්දෙන් පිරිහෙති. අන්‍යයකු හා හෝ අවවාද දායකයා හා හෝ ද්වේෂයෙන් සිටින තැනැත්තා ද අවවාද නො පිළි ගනී. කළ යුත්ත නො කළ යුත්ත මග නො මග මම දනිමි ය, කාගේවත් අවවාද මට නුවුමනා ය යන සම්මෝහය නිසා ද අවවාද නො පිළි ගනී. ඇතැම්හු මට ගුරුකම් දෙන්නට කෙනෙක් නැත යන මානය නිසා ද අවවාද නො පිළිගනිති. ධර්ම වශයෙන් කියත හොත් රාග ද්වේෂ මෝහ මානාදිය ම දෝවචස්සතාවය යි කිය යුතුය. දෝවචස්සතා නම් වූ මේ අවවාද නො පිළි ගන්නා ස්වභාවය මහත් පරිහානිකර කරුණෙකි. එයින් පිරිහීමට පත්ව සිටින අය ලෝකයෙහි බොහෝ ය. සෝවචස්සතා නම් වූ පිළිගන්න ස්වභාවය දියුණුවට ඉමහත් හේතුවකි. සෝවචස්සතා ගුණය මංගල සූත්‍රයෙහි දැක්වෙන අටතිස් මගුල් කරුණු වලින් ද එකකි. උගත් නූගත් බාල මහළු කාහටත් වරදින අවස්ථා ඇති වේ. මුළාවන අවස්ථා ඇති වේ. කා අතිනුත් වරද සිදුවිය හැකි ය, කවුරුනුත් නො මග යා හැකි ය. තමාගේ වරද තමාට නො පෙනේ. එය පෙනෙන්නේ අන්‍යයන්ට ය. නොයෙක් විට උගතා ගේ වරද නූගතාට ද ගුරුවරයාගේ වරද ගෝලයාට ද පෙනේ. මාපියන්ගේ වරද දූදරුවන්ට ද පෙනේ. එසේ පෙනෙන බැවින් සමහර විට උගතුන්ට නූගතුන්ගෙන් ද වටිනා අවවාද ලැබේ. මාපියන්ට ද දරුවන්ගෙන් වටිනා අවවාද ලැබේ. එබැවින් කවුරුන් විසිනුත් අවවාද පිළිගත යුතුය. සමහරුන්ගෙන් ලැබෙන අවවාද පිළිගැනීමට නුසුදුසු ඒවා විය හැකි ය. එහෙත් කාගෙන් වුවද අවවාදයක් ලද හොත් එය ප්‍ර‍තික්ෂේප කිරීමට ඉක්මන් නො වී විමසා බැලිය යුතු ය. පහත් කෙනකුගේ අවවාදයක් පිළිගැනීම තමාට මදිකමකැයි නො සිතිය යුතු ය. ප්‍ර‍ඥාවෙන් බුදුරදුන්ට පමණක් දෙවෙනි සැරියුත් මහ තෙරුන් වහන්සේ කුඩා අයගේ අවවාද ගෞරවයෙන් පිළිගත්හ.

දිනක් සැරියුත් මහ රහතන් වහන්සේ හැඳ සිටි අඳනයේ කොනක් එල්ලෙමින් තිබුණේ ය. කොන එල්ලෙන සේ හැඳීම පරිමණ්ඩල සිකපදයට විරුද්ධ ය. එය දුටු සත් හැවිරිදි සාමණේර නමක් ස්වාමීනි, නුඹ වහන්සේ ගේ අඳනයේ කොනක් එල්ලේය යි කී ය. එබස් ඇසූ සැරියුත් මහ තෙරුන් වහන්සේ එකෙණෙහි ම පරිමණ්ඩල සිකපදය අනුව අඳනය සකසා හැඳ ආචාර්යයෙනි, දැන් හොඳදැ යි කියා ඇඳිලි බැඳ,

තදහු පබ්බජිතෝ සන්තෝ - ජාතියා සත්තවස්සිකො

සෝපි මං අනුසාසෙය්‍ය - සම්පටිච්ඡාම මත්ථකෙ

(දේවපුත්ත සංයුත්තට්ඨකතා)

යනුවෙන් දැක්වෙන පරිදි එදවස් පැවිදි වූ සත් හැවිරිදි නමක් වුව ද මා හට අනුශාසනා කළ හොත් මුදුනෙන් පිළිගනිමි යි වදාළහ.

පාපමිත්තතා

පරපණ නසන, සොරකම් කරන, කාමයෙහි වරදවා හැසිරෙන, බොරු කියන, සුරාපානය කරන, ශ්‍ර‍ද්ධාව නැති, තුනුරුවන්ට අගරු කරන, මසුරු නපුරු අදහස් ඇති, ධර්මය නො දත් ගිහියෝ ද; දුශ්ශීල වූ ලාමක ගති පැවතුම් ඇත්තා වූ අපවිත්‍ර‍ කායකර්මාදිය ඇත්තා වූ සැක කළ යුතු පැවතුම් ඇත්තා වූ ශ්‍ර‍මණත්වය නැති ව ශ්‍ර‍මණයන් සේ පෙනී සිටින්නා වූ අබ්‍ර‍හ්මචාරී ව බ්‍ර‍හ්මචාරීන් සේ පෙනී සිටින්නා වූ කුණු වූ කායකර්මාදිය ඇත්තා වූ රාගාදි කෙලෙස් දියෙන් තෙත් වූ රාගාදි කෙලෙස් කසළ ඇත්තා වූ පැවිද්දෝ ද පාපී පුද්ගලයෝ ය. ගිහි වූ හෝ පැවිදි වූ හෝ ඒ පාප පුද්ගලයන්ට නැමී සිටින ඔවුන් වෙත නැවත නැවත එළඹෙන ඔවුන් හා එක්ව කටයුතු කරන එක්ව වාසය කරන ස්වභාවය පාපමිත්තතා නම් වේ. එය ඒ ආකාරයෙන් ඇතිවන තණ්හාව ය. පාප පුද්ගලයන් හොඳ අතට හැරවීමේ අදහසින් මෛත්‍රියෙන් කරුණාවෙන් ඔවුන් හා මිත්‍ර‍ කම් පැවැත්වීම ඔවුන් ඇසුරු කිරීම පාපමිත්තතා නම් වූ ක්ලේශය නො වේ. යහමගට පැමිණවීම පිණිස පාප පුද්ගලයන් සේවනය කිරීම කුශල ක්‍රියාවකි. සත්පුරුෂයන් එසේ නො කළහොත් පාපීන්ට යහමගට හැරීමට ක්‍ර‍මයක් නැත. පාපය පිළිකුල් කළ යුත්තකි. බුදුරදුන් විසින් වදාරා ඇත්තේ පාපී පුද්ගලයන් ද භජනය නො කළ යුතු පිළිකුල් කටයුතු පුද්ගලයන් බව ය. ධර්මසංඥාවක් නැති පෘථග්ජන පුද්ගලයාගේ සිත පවතින්නේ පවට බරව ය. ඔහුට කුශලයෙන් සතුටක් නො ලැබිය හැකිය. ඔහුට ඇති මිහිර පාපය ය. ඔහුට ප්‍රීතියක් ලැබෙන්නේ පාපයෙනි. පාපකාරී පුද්ගලයන් ද ඔහුට ප්‍රිය ය. ඔහු ගේ සිත ලෙහෙසියෙන් ම පාපකාරීන් වෙත ඇදෙන්නේ ය. නැමෙන්නේ ය. සත්පුරුෂයන් ඔහුට එතරම් ප්‍රිය නැත. ඔහුට පෙනෙන්නේ හොඳ නරක කියන සත්පුරුෂයන් කරදරකාරයන් ලෙස ය. එබැවින් පාප පුද්ගලයන් වෙත ධර්මය නො දත් පෘථග්ජන පුද්ගලයාගේ සිත ලෙහෙසියෙන් ඇදී යා හැකි බැවින් එසේ නොවන පරිදි පරිස්සම් විය යුතුය. පාපමිත්‍ර‍ සේවනය ඉතා අනර්ථකර කරුණෙකි. කලින් යහපත් චරිතය ඇතිව සිටි බොහෝ දෙනකුන් පව්කාරයන් වී දෙලොවින් ම පිරිහෙන්නේ පාප මිත්‍ර‍ සේවනයෙනි. එබැවින් එය භයානක දෙයක් ලෙස සැලකිය යුතුය. ලෝකයෙහි යහපත් පුද්ගලයන් වී දියුණු වී සිටිය හැකි බොහෝ දෙනකුන් දෙලොවින් ම පිරිහෙන්නේ පාපමිත්‍ර‍ සේවනයෙනි. ගිහියන් බෙහෙවින් පිරිහෙන්නේ ගිහි පාපමිත්‍ර‍යන් නිසා ය. පැවිද්දන් බෙහෙවින් පිරිහෙන්නේ ශ්‍ර‍මණ පාපමිත්‍ර‍යන් නිසා ය. ශ්‍ර‍මණ පාපමිත්‍ර‍යා නිසා ගිහි පැවිදි දෙපක්ෂය ම පිරිහෙන බව කිය යුතු ය. අජාසත් රජතුමා පමණ බුදුනට පැහැදී සිටිය අනිකෙක් නො වීය. දේවදත්ත නමැති පාප භික්ෂුව ඇසුරු කිරීම නිසා ඔහුට අපායට යන්නට සිදුවිය.

ඇතැම්හු පාපපුද්ගලයන්ගෙන් ලබාගත යුතු යම් යම් ප්‍රයෝජන ලබනු පිණිස ඔවුන් ආශ්‍ර‍ය කළ ද අපි ඔවුන් අනුගමනය නො කරමු ය, ඔවුන් කරන පව්කම් වලට හවුල් නො වෙමුය යි සිතමින් කියමින් පාපමිත්‍ර‍ සේවනය කෙරෙති. ඔවුන්ට ආරම්භයේ දී පව්කම් පිළිකුල් ය. නැවත නැවත දැකීමෙන් ඒ පිළිකුල ක්‍ර‍මයෙන් හීන වේ. පව්කම් ගැන මධ්‍යස්ථ භාවයක් ඇති වේ. තවත් කල් යාමෙන් මඳින් මඳ පව්කම් වලට සහාය වන්නට පටන් ගනී. අන්තිමේ දී තුමූ ද ඒවා කරන්නට පටන් ගනී. මෙසේ විය හැකි බැවින් කිනම් කරුණක් නිසා වුව ද පාපමිත්‍ර‍ සේවනය නොකිරීම ම යහපත් බව කිය යුතු ය.

යාදිසං කුරුතෙ මිත්තං - යාදිසං වූපසේවති,

ස වේ තාදිසකෝ හෝති - සහවාසෝ හි තාදිසෝ.

(ඉතිවුත්තක)

 

යම්බඳු පුද්ගලයකු මිත්‍ර‍ කර ගනී ද යම්බඳු පුද්ගලයකු සේවනය කෙරේ ද ඔහු ද එබඳු වන්නේ ය. එක්ව වාසය කිරීමේ ස්වභාවය එය ය.

පාපකාරීන් ඇසුරු කරන්නේ සොරකම් ආදි පව්කම් වලට සහභාගී වේ. සහභාගී නුවූයේ ද පව්කම් ගැන සැක කරනු ලබන්නේ ය. එයින් ඔහුට අපකීර්තියක් ද ඇති වන්නේ ය.

අකරොන්තෝපි වේ පාපං - කරොන්ත මුප සේවති.

සංකියෝ හෝති පාපස්මිං - අවණ්ණෝ චස්ස රූහති.

(ඉතිවුත්ත)

පව් නොකරන්නේ ද පාපකාරීන් සේවනය කෙරේ නම් පව්කම් ගැන සැක කළ යුත්තෙක් වන්නේ ය, අපකීර්තියක් ද ඔහුට වන්නේ ය යනු ගාථාවේ තේරුම ය.

අලි බලන්නා අලියාගෙන් නැසෙන්නාක් මෙන් සර්පයන් ඇසුරු කරන්නා සර්පයකුගෙන් නැසෙන්නාක් මෙන් දුර්ජන පාපීන් ඇසුරු කරන්නා ඔවුන්ගෙන් ම විපතට පත් වේ. ඇතැම් පාපීහු ඔවුන් කළ අපරාධ වලට ආශ්‍රිතයන් හසු කොට ඔවුහු ගැළවෙති. පාප මිත්‍ර‍යන්ගෙන් උපකාර ලැබීමෙන් ද වන්නේ නොයෙක් විට නපුරෙකි. පාපමිත්‍ර‍යන්ට උපකාර කිරීමෙන් ද නොයෙක් විට වන්නේ නපුරෙකි. පාපීන්ට උපකාර කිරීමෙන් බෝසතාණන් වහන්සේට නොයෙක් විට විපත් පැමිණි බව ජාතක කතා වල දක්නා ලැබේ. කරුණු මෙසේ හෙයින් පාප මිත්‍ර‍ සේවනයෙන් වෙන්වීම කාහටත් යහපතක් බව කිය යුතු ය.

 

23. අනජ්ජවො 24. අමද්දවො

ඇද නැති බව අජ්ජව නම් වේ. ඇද බව සෘජුත්වක් නැති බව අනජ්ජව නම් වේ. එනම් වංක බවය. යමකු පව්කමින් වැළකී දිගට ම කුශල ක්‍රියා ම කරන්නේ නම් ඔහුගේ ඒ ක්‍රියා පරම්පරාව ඇද නැති ගැට නැති මට්ටම් රිටක් සේ සෘජු ය. එසේ යහපත් ක්‍රියා කරගෙන යන පුද්ගලයා යම්කිසි විටෙක පව්කමක් කළහොත් එය ඔහුගේ ක්‍රියා පටිපාටිය අන් අතකට හැරීම ය. එයින් ක්‍රියා පටිපාටිය ඇද වූයේ වෙයි. ඇද යයි කියනුයේ එක් අතකට කෙළින්ම පැවති දෙය අන් අතකට හැරීම ය. මේ ඇදය ඒ ඒ ක්‍රියා අනුව වෙන වෙන ම ද කිය හැකි ය. ප්‍රාණවධයෙන් වළකින තැනැත්තා එය දිගට ම පවත්වනවා නම් ඒ සෘජු බවය. අතරකදී කළ හොත් එය ප්‍ර‍තිපත්තිය ඇදවීම ය. අන්‍ය පාපයන්ගෙන් වැළකීම ගැන ද එසේ ම සැලකිය යුතු ය.

ගෝමුත්‍ර‍වංකය, චන්ද්‍රලේඛාවංකය, නංගල ශීර්ෂ වංකය යි තුන් ආකාර වංකයක් අටුවාවල දක්වා ඇත්තේ ය. එය විස්තර කර ඇත්තේ මෙසේ ය:

යමෙක් පව් කරමින් ම මම පව් නොකරමි යි කියා නම් ඔහුගේ ඒ ගතිය ඉදිරියට පස්සට ඒමක් බැවින් ගෝමුත්‍ර‍ වංකය ය. යමෙක් පව් කරමින් ම මම පවට බිය වෙමි යි කියා නම් ඔහුගේ ඒ ගතිය බෙහෙවින් ඇදයක් බැවින් චන්ද්‍රලේඛා වංකය ය. යමෙක් පව් කරමින් ම කවරෙක් පාපයට බිය නොවේ දැයි කියා නම් ඔහුගේ ඒ ගතිය මහත් ඇදයක් නො වන බැවින් නංගලකෝටි වංකය ය. තවත් ක්‍ර‍මයක් මෙසේ ය: යමකුගේ කර්මද්වාර තුන ම අශුඬ නම් එය ගෝමුත්‍ර‍ වංකය ය. කර්මද්වාර තුනෙන් දෙකක් අශුඬ නම් ඒ චන්ද්‍රලේඛා වංකය ය. එක් කර්මද්වාරයක් අශුඬ නම් ඒ නංගලශීර්ෂවංකය ය. මේ අභිධර්ම අටුවාවේ ආ ක්‍ර‍මය ය. දීඝ නිකාය අටුවාවෙහි දැක්වෙන ක්‍ර‍මය මෙසේ ය: යම් පැවැද්දෙක් ප්‍ර‍ථම වයසේ දී එක් විසි අනේසනයන්හි හා සයක් වූ අගෝචරයන්හි ද යෙදෙමින් කල් යවා මධ්‍යම පශ්චිම දෙවයසෙහි ලජ්ජි ශික්ෂාකාමී පුද්ගලයෙක් වේ නම් ඔහුගේ ස්වභාව ගෝමුත්‍ර‍වංකය ය. ප්‍ර‍ථම පශ්චිම වයස දෙක්හි අනේසන අගෝචරයන්හි හැසිර මැදුම්වියේ දී ශික්ෂාකාමී පුද්ගලයකු වන භික්ෂුවගේ ස්වභාවය චන්ද්‍රලේඛා වංකය ය. ප්‍ර‍ථම මධ්‍යම දෙවයසෙහි ශික්ෂාකාමීව සිට පශ්චිම වයසේ දී අනේසන අගෝචරයන්හි හැසිරෙන්නහු ගේ ඒ ස්වභාවය නංගල කෝටි වංකය ය. තුන් වියේ දී ම මැනවින් හැසිරෙන භික්ෂුව ගේ ස්වභාවය අවංක ය.

අන්‍යයන් ගැන නො සලකන, අන්‍යයන් හා හොඳින් කථා නො කරන, අප්‍රිය කථා කරන, අසන දෙයකට පිළිතුරක් නො දෙන, නැමිය යුත්තන්ට නො නැමෙන ගරු කළ යුත්තන්ට ගරු නො කරන, වැඳිය යුත්තන්ට නො වඳින, කාහටත් කීකරු නො වන රළු ගතිය තද ගතිය අමද්දව නම් වේ. එය ඒ ආකාරයෙන් පවත්නා අධික මානය ය. අමද්දවය ඇති පුද්ගලයා කුළු ගොනකු වැනි ය. කුළු මීහරකකු වැනි ය. ජනයාට අප්‍රියය, බොහෝ දෙනා විසින් වර්ජනය කරන පුද්ගලයෙකි.

මේ රළු ගතිය දෙලෝ වැඩ නසනා ඉමහත් දුර්ගුණයෙකි. මෘදු බව නමැති සද්ගුණයෙහි පිහිටා එය නැති කර ගත යුතු ය. ගරු කළ යුත්තන්ට ගරු කරන ස්වභාවය උත්තම පුද්ගලයන්ගේ ගුණයකි. ගරු කිරීම හා යටහත් පැවැත්ම උසස් ගුණයක් වන බැවින් පස් මරුන් පරදවා සර්වඥපද ප්‍රාප්තව ලෝකාග්‍ර‍ත්වයට පැමිණි භාග්‍යවතුන් වහන්සේ බුදු වූ අලුත නේරඤ්ජරා නදී තීරයේ අජපාල නුගරුක මුල වැඩ වෙසෙන සේක. ගෞරවයක් යටහත් පැවැත්මක් නැති ව විසීම දුකෙක, මා විසින් ගරු කිරීමට සුදුසු පුද්ගලයකු සොයා ගරු බුහුමන් කරමින් විසිය යුතු ය යි සිතා සුදුසු පුද්ගලයකු සොයන සේක් එයට සුදුස්සකු නො දැක, උන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කර ගත් ධර්මයට ම ගරු කරමින් සත්කාර කරමින් වාසය කරන්නට සිතා ගත්හ.

25. අක්ඛන්ති 26. අසෝරච්චං

බැණුම් තර්ජන අවමාන ධනහානි ඥාතීන්ගේ මරණ බලාපොරොත්තු කඩවීම අධික ශීතෝෂ්ණ රෝග සතුන්ගෙන් වන කරදර සාගින්න පිපාසාව යනාදියට ඔරොත්තු නො දෙන සිතෙහි දුබල බව අක්ඛන්තිය ය. එයට නො ඉවසීමය යි ද කියනු ලැබේ. තවත් ක්‍ර‍මයකින් කියත හොත් ඉහත කී කරුණුවල දී කෝපවීම, කෝලාහල කිරීම, බියවීම, පලායාම, ගමරට හැරයාම, ශෝක වීම, හැඬීම, කටයුතු අතපසු කිරීම, කටයුතු අත හැරීම යනාදිය අක්ඛන්තිය යි කිය යුතු ය. අනුන් කරන වරද හා තමාට වන අලාභ හානි දුක් වේදනා ඉවසිය හැකි බව මහා බලයෙකි. එයට ක්ෂාන්ති බලය යි කියනු ලැබේ. ඒ ක්ෂාන්තිය මහා බෝධිසත්වයන් පුරන පාරමිතා දශයෙන් ද එකකි. අඥයෝ ඒ ක්ෂාන්ති බලය දුබල බවෙකැයි ද ඉවසීමට නො සමත් බව වූ දුබලකම බලයකැයි ද සිතා අන්‍යයන් හා කෝලාහල කර ගනිමින් පිරිහීමට පත් වෙති. කෝලාහල නොකර අනුන් කළ වරද ඉවසීමෙන් තමාට ද වරද කළ තැනැත්තාට ද යන දෙදෙනාට ම වන්නේ යහපතෙකි. කෝලාහලයෙන් වන්නේ දෙපක්‍ෂයටම විපතෙකි.

උභින්න මත්ථං චරති - අත්තනෝ ච පරස්ස ච

පරං සංකුපිතං ඤත්වා - යො සතො උපසම්මති

(සක්ක සංයුත්ත)

යමෙක් අනුන් කිපුණු බව දැන තෙමේ නො කිපී සන්සිඳේ නම් හෙතෙමේ තමාගේ ද අන්‍යයාගේ ද යන දෙදෙනාගේ ම අර්ථය පිණිස හැසිරෙන්නේ ය.

උභින්නං තිකිච්ඡන්තානං - අත්තනෝ ච පරස්ස ච

ජනා මඤ්ඤති බාලෝති - යෙ ධම්මස්ස අකෝවිද

(සක්ක සංයුත්ත)

කෝලාහල නො කිරීම් වශයෙන් තමාට ද අනිකාට ද යන දෙදෙනාට ම පිළියම් කරන්නා වූ තැනැත්තා ධර්මය නොදත් අඥයෝ මෝඩයෙකැ යි සිතත්.

උත්තම පුද්ගයෝ අනුන් ගේ බැණුම්වලින් නො සෙල්වෙති. පෙර ලක්දිව විසූ දීඝභාණක අභය තෙරුන් වහන්සේ මාගම දී ආර්‍ය්‍යවංශ ප්‍ර‍තිපදාව දේශනය කළහ. බණ ඇසීමට බොහෝ ජනයා පැමිණියහ. එයින් උන් වහන්සේට බොහෝ සත්කාර ලැබිණ. එය දුටු එක්තරා තෙර නමකට එය නො ඉවසිය හැකි වී දීඝභාණකයා ආර්‍ය්‍ය වංශය දේශනය කරමි යි රාත්‍රිය මුළුල්ලෙහි කෝලාහලයක් කෙළේ ය යි කියමින් බණින්නට විය. බණ අවසන් වී තම තමන්ගේ විහාරවලට වැඩම කළා වූ ඒ ස්ථවිර දෙනම ගව්වක් මඟ එකට ම ගමන් කළහ. කෝප වී සිටි ස්ථවිර තෙමේ මඟ දිගට ම ද අභය තෙරුන් වහන්සේට බණිමින් ම ගමන් කෙළේ ය. විහාර දෙකට යන මඟ බෙදෙන තැන දී අභය තෙරුන් වහන්සේ බණින තෙරුන් වහන්සේට වැඳ ස්වාමීනි, මේ ඔබ වහන්සේ ගේ මඟය යි කීහ. ඒ ස්ථවිර තෙමේ තුෂ්ණීම්භූත ව ඒ මඟ ගියේ ය. අභය තෙරුන් වහන්සේ ද තමන්ගේ විහාරයට ගොස් පා සෝදා අසුනක හිඳ ගත්හ. අතවැසියෝ උන් වහන්සේ වෙත එළඹ, ස්වාමීනි, මඟ දිගට ම බැන්නා වූ ස්ථවිර නමකට කිසිවක් නොකී සේක් දැ යි කීහ. එකල්හි අභය තෙරුන් වහන්සේ ඇවැත්නි, ඉවසීම ම අපට භාර දෙය ය, කමටහනින් වෙන් ව තැබූ එක පියවරකුදු නොදකිමු යි කීහ. ඉවසීමට නො සමත් බව නමැති දුබල කම දුරු කොට ශාන්ති බලය ඇති කර ගත හැකිවීමට මෙවැනි කතා ආදර්ශයට ගත යුතු ය.

ඇතැම්හු තමන් ගේ කෙනකු කලුරිය කළ විට බිම පෙරළෙමින් හඬති. අතින් පපුපට ගසා ගනිති. නො කා නො බී සිටිති. එය ද අක්ඛන්ති නම් වූ දුබල බව ය. ඇතැම්හු කෙනකු මළහොත් එසේ කළ යුතු යයි සිතති. නො කිරීම මළහුට අගෞරවයකැයි සිතති. එය අනුවණ කමකි. තමාගේ කෙනකු නැතිවීම පාඩුවක් වුව ද ශෝක කිරීමෙන් ඒ පාඩුව නො පිරිමැසේ.

අද ශීතල අධිකය, අද උෂ්ණය, අද වැස්සය, පින්නය, අසනීපය කියා කටයුතු පමා කිරීම ද අක්ඛන්තිය ම ය. එසේ කරන්නෝ සැපයෙන් පිරිහෙති. ශීතෝෂ්ණාදිය ගණන් නො ගෙන ඉවසීමෙන් ක්‍රියා කරන්නෝ සැපතින් නො පිරිහෙති. ඇතැම්හු රැකියාවක් නැත, ධනයක් නැත කියා තැවි තැවී කල් යවති. එද අක්ඛන්තිය ය. එයින් පුද්ගලයා තවත් පිරිහේ. තැවි තැවී නො සිට කුමක් හෝ කරන ධෛර්‍ය්‍යවත් පුද්ගලයා සැපතට පැමිණේ.

අසෝරච්චං

දුසිල් බව අසෝරච්ච නම් වේ. ගිහියන් විසින් කායද්වාරයෙන් සිදුවන අකුශල කර්ම තුනෙන් හා වාක් ද්වාරයෙන් සිදුවන අකුශල කර්ම හතරෙන් නො වැළකීමත් පැවිද්දන් විසින් ශ්‍ර‍මණ ශීලයට අයත් සිකපද නො රැකීමත් අසෝරච්චය ය.

27. අසාඛල්ලං 28. අප්පටිසන්ථාරො

අසන්නාට අප්‍රිය, අසන්නාගේ සිත රිදෙන නොමනා කථා කරන බව අසාඛල්ල නම් වේ. මේ අසාඛල්ලය මානයත් ද්වේෂයත් ය. ඇතැම්හු තමන් උසස් කොට අනුන් පහත් කොට සලකන මානය නිසා ද ඇතැම්හු අනුන් ගැන ඇති නො සතුට ද්වේෂය නිසා ද නොමනා කථා කෙරෙති. තෝ බොල අරූ මූ ඕකා මේකා ලොක්කා නාකියා වර පල දුවපිය කාපිය බීපිය යනාදි වශයෙන් කරන කථා අසන්නවුන්ට අප්‍රිය අමිහිරි කථා ය. කථාවෙහි මහා බලයක් ඇත්තේ ය. වචනවල බලයෙන් අසන්නවුන්ට නො සතුට සතුට කෝපය භය ආදි නොයෙක් දේ ඇති වේ. කෙනකුගේ සිත යම්කිසි අලාභයක් කිරීමෙන් රිදවනවාට වඩා වචනයෙන් රිදවිය හැකි ය. යම්කිසිවක් දීමෙන් සතුටු කරනවාට වඩා වචනයෙන් සතුටු කරවිය හැකිය. ඒ වචනයේ බලය ය. නො මනා කථා කරන තැනැත්තා ජනයාට අප්‍රිය ය. එයින් ඔහු පිරිහේ. ප්‍රිය වචනයට මිනිසුන් තබා දෙවියෝ ද නැමෙති. යහපත් කථා ඇතියහුට සෑම තැනම මිතුරෝ ය. වියදමක් නැතිව අනුන්ගේ සිත් සතුටු කරවීමට අනුන්ගෙන් වැඩ ගැනීමට උපකාර ලැබීමට ඇති හොඳම උපාය යහපත් කථාව ය. යහපත් කථා ඇති බව බුද්ධාදීන් විසින් වර්ණනා කරන ලද උතුම් ගුණයෙකි.

පටිසන්ථාර නම් වූ උත්තම ගුණයක් ඇත්තේ ය. එයට විරුද්ධ ස්වභාවය අප්පටිසන්ථාර නම් වේ. එය දුර්ගුණයකි. කා බී සුඛිතව සිටින පුද්ගලයාගේ හා සාගින්නේ සිටින පුද්ගලයාගේ වෙනසක් ඇත. පරතරයක් ඇත. වෙහෙසට පත්ව සිටින පුද්ගලයාගේ හා සුවසේ සිටින පුද්ගලයා ගේ වෙනසක් ඇත. රෝගී පුද්ගලයාගේ හා නිරෝගී පුද්ගලයාගේ වෙනසක් ඇත. වස්ත්‍ර‍ ඇති පුද්ගලයාගේ හා නැති පුද්ගලයාගේ වෙනසක් ඇත. උගත් පුද්ගලයාගේ හා නූගත් පුද්ගලයාගේ වෙනසක් ඇත. මෙසේ පුද්ගලයන් අතර බොහෝ වෙනස්කම් පරතර ඇත්තේ ය. තමා හා අන්‍යයන් අතර ඇති වෙනස්කම් නැති කිරීමේ කැමැත්ත, නැති කිරීම සඳහා ක්‍රියා කිරීම පටිසන්ථාර නම් වූ ගුණය ය. තමා හා අන්‍යයන් අතර ඇති වෙනස නැති කිරීමට නො කැමැත්ත, ඒ සඳහා ප්‍රිය නොකිරීම අප්පටිසන්ථාරය ය. ගිහි පැවිදි කවුරුනුත් මේ පටිසන්ථාර ගුණය පැවැත්විය යුතුය. තමාගේ නිවසට අමුත්තකු පැමිණිය හොත් ආදරයෙන් පිළිගෙන ඔහුට සුදුසු සංග්‍ර‍හ කිරීම, සාගින්නෙන් පෙළෙන්නකු පැමිණියහොත් ආහාරයක් දීම, පිපාසිතයකු පැමිණියහොත් බීමට යමක් දීම, යම් දෙයක් ඉල්ලීමට පැමිණියහොත් ඒ දෙය දීම, යමක් දැන ගැනීමට පැමිණිය හොත් එය කියා දීම පටිසන්ථාරය ය.

පටිසන්ථාරය අටුවා පොත්වල විස්තර කර ඇත්තේ පැවිද්දන් අනුව ය. පටිසන්ථාර වතය, සාරාණීය වතය කියා භික්ෂූන් පුරන වත් දෙකක් ඇත්තේ ය. පටිසන්ථාරය ධම්මසංගණී අටුවාවෙහි විස්තර කර ඇත්තේ මෙසේ ය. ආමිසපටිසන්ථාරය ධම්මපටිසන්ථාරය යි පටිසන්ථාර දෙකකි. ආමිසයෙන් අන්‍යයන් තමා හා සම බවට පැමිණවීම ආමිස පටිසන්ථාරය ය. ධර්මයෙන් සම බවට පැමිණවීම ධම්මපටිසන්ථාරය ය. පටිසන්ථාරය පුරන භික්ෂුව විසින් ආගන්තුක භික්ෂුවක් එනු දැක පෙර ගමන් කොට පාසිවුරු ගත යුතුය. ආසනයක් දිය යුතුය. පවන් සැලිය යුතුය. පා සෝදා තෙල් ගැල්විය යුතුය. ගිතෙල් පැණි ඇතහොත් ගිලන්පස දිය යුතුය. පැනින් විචාළ යුතු ය. විසීමට පිළියෙල කර දිය යුතුය. එසේ කළ කල්හි ඒක දේශයකින් ආමිස පටිසන්ථාරය කරන ලද්දේ වේ. සවස් කාලයේ ආගන්තුකයා වෙත ගොස් හිඳ ඔහුට අවිෂය ප්‍ර‍ශ්න නො විචාරා ඔහුට විෂය කරුණු පිළිබඳ ප්‍ර‍ශ්න ඇසිය යුතුය. ඔබ කිනම් ග්‍ර‍න්ථයක් උගෙන ඇත්තේ දැයි නො විචාරා ඔබ වහන්සේගේ ආචාර්යෝපාධ්‍යායයෝ කිනම් ග්‍ර‍න්ථ පරිශීලනය කෙරෙත්දැයි අසා විසඳීමට සමත් ප්‍ර‍ශ්න විචාළ යුතුය. ඉදින් ආගන්තුකයා ඒවා විසඳීමට සමත් නො වුවහොත් තමා විසින් කියා දිය යුතුය. එසේ කළ කල්හි ඒක දේශයකින් ධම්ම පටිසන්ථාරය කරන ලද්දේ වන්නේ ය. ඉදින් ආගන්තුකයා තමා සමීපයෙහි වෙසෙන්නේ නම් දිනපතා ඔහු කැඳවා ගෙන පිඬු පිණිස හැරිය යුතුය. ආගන්තුකයා යනු කැමැත්තේ නම් පසු දින ඔහු හා එක් ගමෙක පිඬු පිණිස හැසිර පිටත් කළ යුතුය. ඉදින් යම්කිසි තැනෙක නිමන්ත්‍ර‍ණයක් ඇත්තේ නම් ආගන්තුක භික්ෂුව ද කැඳවා ගෙන යා යුතුය. ආගන්තුක භික්ෂුව එහි යාමට නො කැමති වේ නම් අන්‍ය භික්ෂූන් එහි යවා ඔහු හා පිඬු පිණිස හැසිරිය යුතු ය. තමා ලද ආමිසය ඔහුට දිය යුතු ය. එසේ කිරීමෙන් ආමිස පටිසන්ථාරය කරන ලද්දේ වන්නේ ය.

ආමිස පටිසන්ථාරකයා විසින් තමා ලද දෙය දිය යුත්තේ කා හටද? ආගන්තුකයාට දිය යුතු ය. ගිලනුන් හෝ ආවාසිකයන් හෝ ඇති නම් ඔවුනට ද දිය යුතුය. ආචාර්යෝපාධ්‍යායයන්ට දිය යුතුය. තමාගේ පිරිකර ගෙන යන භික්ෂුවට දිය යුතුය. සාරාණීය වත පුරන භික්ෂුව විසින් සිය වරක් දහස් වරක් වුව ද තමා ගෙනෙන පිණ්ඩපාතය ථෙරාසනයේ පටන් පිළිවෙලින් දිය යුතු ය. පටිසන්ථාර වත පුරන භික්ෂුව විසින් නො ලැබූ භික්ෂූන්ට දිය යුතු ය. විහාරයෙන් පිටතට ගොස් මහළු වූ හෝ අනාථ වූ හෝ භික්ෂුවක් භික්ෂුණියක් දුට හොත් ඔවුනට දිය යුතු ය.

සොරුන් විසින් ගුත්තසාල නම් ගමට පහර දුන් කල්හි නිරෝධ සමාපත්තියෙන් නැගිටියා වූ මෙහෙණක් ළදරු භික්ෂුණියක ලවා තමාගේ පිරිකර ගෙන්වා ගෙන මහජනයා හා මගට බැස මධ්‍යාහ්නයේ නකුල නගර නම් ගම් දොරට පැමිණ ගසක් මුල හිඳගෙන සිටියා ය. එසමෙහි කාලවල්ලි මණ්ඩපවාසී මහානාග තෙරුන් වහන්සේ නකුල නගරග්‍රාමයේ පිඬු පිණිස හැසිර පෙරළා එන්නාහු තෙරණිය දැක පිණ්ඩපාතය දීමට විචාළහ. මෙහෙණිය මට පාත්‍ර‍යක් නැතැයි කීවාය. තෙරුන් වහන්සේ මේ පාත්‍රයෙන් ම වළඳන්නය යි තමන් වහන්සේගේ ආහාර පාත්‍ර‍ය තෙරණියට දුන්හ. තෙරණි තෙරුන් වහන්සේ පාත්‍රයෙන් ම වළඳා එය සෝදා තෙරුන් වහන්සේ අතට දී, දරුව අද ඔබ පිඬු සිඟීමෙන් වෙහෙසට පත් වූවාහු ය. මෙතෙක් පටන් කිසි දිනක ඔබ වහන්සේට පිණ්ඩපාතයෙන් වෙහෙසීමක් නො වන්නේ යයි කීය. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි පුද්ගලයකුට දෙන දානය අතිශයින් මහත් ඵල වන බැවින් ඉන් පසු තෙරුන් වහන්සේට සැම කල්හි කහවණුවකට අඩු වටිනාකම ඇති පිණ්ඩපාතයක් නො ලැබුණේ ය. අටුවාවෙහි මේ විස්තර කර ඇත්තේ අතීතයේ විසූ භික්ෂූන් වහන්සේලා හැසිරුණු ආකාරයට ය. මේ කාලයේ ටපිසන්ථාර වත පුරනවා නම් කාලය අනුව එය කළ යුතු ය. පටිසන්ථාර වත පිරීමෙන් නො ලැබූ ලාභයන් ලැබීමත් ලැබෙන ලාභය ස්ථිර වීමත් අනතුරුවලින් ගැලවීමත් සිදු වන්නේ ය.

 

 

29. ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා

30. භෝජනේ අමත්තඤ්ඤුතා

ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා යනු ඉන්ද්‍රිය සංවරය නැති බව ය. ඉන්ද්‍රිය යනු රූපාදි අරමුණු ගැනීමට උපකාර වන වස්තූහු ය. ඇස, කන, නාසය, දිව, කය, මනස යන මේ සය ඉන්ද්‍රියෝ ය. ඒ සය ම චක්ෂූන්ද්‍රිය, සෝතින්ද්‍රිය, ඝාණින්ද්‍රිය, ජීව්හින්ද්‍රිය, කායින්ද්‍රිය, මනින්ද්‍රිය යි ද කියනු ලැබේ. ඉන්ද්‍රිය සය කෙලෙස් නමැති දිය දහර ගලන සිදුරු සයෙකි. සියලුම කෙලෙසුන් සියලු පව්කම් ගලා යන්නේ ඒ සිදුරු වලිනි. ඒ සිදුරු වැසිය හැකි පියන සිහිය ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේ විසින් සති තේසං නිවාරණං යනුවෙන් වදාරා ඇත්තේ ය. සතියෙන් ඉන්ද්‍රිය වසා ගෙන ඇති පුද්ගලයාගේ ඇසට හොඳ වස්ත්‍ර‍යක්, ආභරණයක්, වාහනයක්, ගෙයක් හෝ අන් කිසි වස්තුවක් හෝ දැකුම්කලු පුද්ගලයකු හෝ මුණ ගැසුණ හොත් එකෙණෙහි ම ඒ දෙය ලස්සනය හොඳය කියා තණ්හාව ඇති වේ. අනතුරුව එය ලැබීමේ ආශාව වන අභිධ්‍යාව ඇති වේ. එය හෝ එවැනි දෙයක් ලැබෙන තුරු මාස ගණනක් වුව ද වර්ෂ ගණනක් වුව ද ඔහු ගේ සන්තානයෙන් දිගින් දිගට ම ක්ලේශ නමැති දිය දහර ගලන්නේ ය. ඉන්ද්‍රිය සංවරය නැති තරුණයකුගේ ඇසට ලස්සන තරුණියක් මුණ ගැසුණන හොත් රාගය නමැති කෙලෙස් දිය දහර අතිදීර්ඝ කාලයක් ගලන්නට වන්නේ ය. ඒ සම්බන්ධයෙන් ක්‍රෝධ ඊර්ෂ්‍යා නමැති කෙලෙස් ද නොයෙක් පව් කම් ද ගලන්නට වන්නේ ය. සෝතාදි අන්‍ය ඉන්ද්‍රියන්ගෙන් ද එසේම කෙලෙස් ගලන සැටි කල්පනා කොට තේරුම් ගත යුතු ය.

සර්වාකාර පරිපූර්ණ ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගැනීම දුෂ්කර ය. එය හැකි වතොත් හැකි වන්නේ පැවිද්දකුට ය. සියලු පැවිද්දන්ට එය නො කළ හැකි ය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ගැන සික පද නො පනවන ලදී. යමෙකුට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ කළ හැකි වුවහොත් දුකින් මිදීමට අන් කළ යුත්තක් ඉතිරි නො වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් මාලුංක්‍ය පුත්‍ර‍ භික්ෂුවට හා බාහිය දාරුචීරියටත් ඉදින් ඇසින් රූප දැක දැකීම් මාත්‍රයෙහි සිටින්නේ නම්, කනින් ශබ් අසා ඇසීම් මාත්‍රයෙහි සිටින්නේ නම්, නාසයෙන් ගඳ සුවඳ දැන, දැනීම් මාත්‍රයෙහි සිටින්නේ නම් නුඹ මෙලොවත් නො වේ ය, පරලොවත් නො වේ ය, දෙලොවෙහි ම නොවේ ය, එය ම දුක් කෙලවර වීම වන්නේ යයි වදාළ සේක. ශ්‍ර‍මණප්‍ර‍තිපදාව දක්වන සූත්‍ර‍වල මිස ගෘහස්ත ප්‍ර‍තිපදාව දක්වන සූත්‍ර‍වල ඉන්ද්‍රිය සංවරය දක්වා නැත. එහෙත් ගිහියන් විසින් ද එක්තරා ප්‍ර‍මාණයකින් ඉන්ද්‍රිය සංවරය ඇති කර ගත යුතු ය. එසේ නුවුවහොත් මිනිසා තිරිසන් ගණයට වැටෙන්නේ ය.

භෝජනේ අමත්තඤ්ඤුතා

භෝජනේ අමත්තඤ්ඤුතා යනු ආහාර ගැනීමේ ප්‍ර‍මාණය නො දන්නා බව ය. අපථ්‍ය ආහාර ගැනීම, නුසුදුසු කල්හි ආහාර ගැනීම, පමණට වඩා කුස පිරෙන සේ ආහාර ගැනීම භෝජනයෙහි පමණ නොදන්නා බව ය. ඒ ඒ පුද්ගලයාට පථ්‍යාපථ්‍ය ආහාර ඇත්තේ ය. ආහාර ගැනීමේ පමණ නොදත් පුද්ගලයා රස තණ්හාව නිසා අපථ්‍යාහාර අනුභව කොට රෝග සාදා ගනී. සමහර විට අපථ්‍යාහාරයෙන් මරණයට ද පත් වේ. සැම වෙලාවේ ම ආහාර වැළඳීම නුසුදුසු ය. තණ්හාව නිසා, ලැබෙන සෑම වෙලාවේ ම ආහාර ගැනීම ශරීරයට අහිත ය. එය නොයෙක් රෝගයන් ඇති වීමට හේතුවකි. ඇතැම්හු රස ආහාර ලද හොත් නැගිටින්නට බැරි වන තුරු උගුර තෙක් පිරෙන ලෙස අහර වළඳති. එය ද ශරීරයට අහිත ය. සමහර විට එයින් මරණය ද විය හැකිය. කොසොල් රජතුමා පමණට වඩා ආහාර වැළඳූ කෙනෙකි. එයින් ඔහු පීඩාවට පත්විය. ඔහු එයින් මුදවනු පිණිස බුදුන් වහන්සේ විසින් ඔහුට මේ ගාථාව වදාරණ ලදි.

මනුජස්ස සදා සතිමතෝ

මත්තං ජානතෝ ලද්ධයෝජනේ

තනු තස්ස භවන්ති වේදනා

සනිකං ජිරති ආයු පාලයං

ලද බොජුනෙහි ප්‍ර‍මාණය දන්නා වූ සෑම කල්හි සිහියෙන් යුක්ත වන්නා වූ මනුෂ්‍යයාට ශාරීරික වේදනාවෝ මඳ වන්නාහ. ඔහු පමණට වැළඳූ ආහාරය ආයුෂය ආරක්ෂා කරමින් සෙමින් දිරන්නේ ය - යනු එහි තේරුම ය.

විභංග පාලියෙහි දක්වා ඇත්තේ ආහාර ගැනීමේ ප්‍රයෝජනය නුවණින් ප්‍ර‍ත්‍යවේක්ෂා නො කොට කෙලෙස් වැඩෙන පරිදි ආහාර වළඳන බව භෝජනේ අමත්තඤ්ඤුතාව කියා ය. එය දක්වා ඇත්තේ භික්ෂු ප්‍ර‍තිපදාව අනුව ය. භික්ෂූන් විසින් ආහාර වැළඳිය යුත්තේ ඒ හේතුවෙන් කෙලෙස් නො වැඩෙන පරිදි නුවණින් ප්‍ර‍ත්‍යවේක්ෂා කොටය. නළුවෝ පිනුම් කාරයෝ සර්කස් කාරයෝ තම තමන් කරන ක්‍රීඩාව හොඳින් කිරීමේ ශක්තිය ලබනු පිණිස, ගී සින්දු හොඳින් කීමේ ශක්තිය ලබනු පිණිස මස් මාලු බිත්තර ආදි ආහාර පව්කමින් වුව ද සොයා අනුභව කරති. භික්ෂූන් විසින් එසේ ක්‍රීඩා පිණිස ආහාර නොවැළඳිය යුතු ය. රාජරාමහාමාත්‍යාදීහු ජනයා අතර නිර්භීත ලෙස හැසිරිය හැකිවීම සඳහා මාන මදය වඩනු පිණිසත් පුරුෂ මද නම් වූ කාම ශක්තිය වඩනු පිණිසත් කිරි බිත්තර මස් මාලු ආදිය වළඳති. එසේ මානමද පුරුෂමද වඩනු පිණිස භික්ෂුව විසින් ආහාර නො වැළඳිය යුතු ය. ගණිකාවන් හා ඇතැම් තරුණ තරුණියෝ අත් පා ඇඟිලි ලස්සනට තබා සම පැහැපත් කොට ශරීරය සරසා ගැනීම සඳහා ගිතෙල් මී පැණි ආදී සිනිඳු භෝජන වළඳති. එසේ ශරීරය සැරසීම සඳහා ආහාර වැළඳීම භික්ෂූන්ට නුසුදුසු ය. ඇතැම්හු ශරීරයේ මස් වැඩවීම පිණිස ඇඟ තර කර ගැනීම පිණිස ආහාර වළඳති. භික්ෂූන් විසින් ඒ සඳහා ආහාර නො වැළඳිය යුතු ය. කියන ලද සතර කාරණය සඳහා ආහාර වැළඳීම භෝජනේ අමත්තඤ්ඤුතා නම් ක්ලේශය ය.

ක්‍රීඩා පිණිස ආහාර වැළඳීම ආදී හළ යුතු කරුණු සතර හැර ඉමස්ස කායස්ස ඨිතියා, යාපනාය, විහිංසූපරතියා, බ්‍ර‍හ්මචරියානුග්ගහාය, ඉති පුරාණං ච වේදනං පටිහංඛාමි, නවං ච වේදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච යනුවෙන් දැක්වෙන අෂ්ටාංගයන් යුක්ත කොට ආහාර වැළඳීම බුද්ධාදීන් විසින් වර්ණනා කරන ලද භෝජනේමත්තඤ්ඤුතා නම් වූ ගුණය ය.

31. මුට්ඨසච්චං 32. අසම්පජඤ්ඤං

සිහිය නැති බව සිහිමුළා බව මුට්ඨසච්ච නම් වේ. සර්පයන් දෂ්ට කිරීමෙන් ද, ඇතැම් බලවත් රෝගවලින් ද, අධික ව ලේ ගැලීමෙන් ද, ඇතැම් බෙහෙත් වලින් ද මිනිසාට කිසිවක් නො දැනෙන ස්වභාවයක් ඇති වේ. එයට ද සිහි නැති වීමය යි කියති. උමතු රෝග වැළඳීමෙන් ද සිහිය අවුල් වේ. එයට ද සිහි නැති වීම යයි ද සිහි මුළා වීම යයි ද කියති. මුට්ඨසච්ච යනුවෙන් අදහස් කරන්නේ ඒ සිහි නැති වීම හෝ සිහි මුළාව නො වේ. පෘථග්ජන පුද්ගලයා ගේ සිත ස්වභාවයෙන් පඤ්චකාමයට හා අකුශලයට ඇදී නැමී බරව පවතී. මධුවා මඤ්ඤති බාලෝයි වදාළ පරිදි ඔහුට අකුශලය මී සේ මිහිරිය. පාපස්මිං රමතී මනෝයි වදාරා ඇති පරිදි පෘථග්ජන චිත්තය පාපයෙහි සතුට ලබන්නේ ය. දාන ශීල භාවනා යන මේවා පෘථග්ජන සිතට අමිහිරි ය. අප්‍රිය ය. එබැවින් සිත කුශලයට යැවිය හැකි වීමට කුශල් සිත් ඇති වීමට අකුශලයෙන් ඇද ගැනීමට සමත් විශේෂ බලයක් තිබිය යුතු ය. සතිපට්ඨාන සතින්ද්‍රිය සතිබල සතිසම්බොජ්ඣංග සම්මා සති යන නම් වලින් හඳුන්වන සති චෛතසිකය ඒ බලය ය. මෙහි සිහිය යි කියනුයේ ඒ බලයට ය. සෑම කුශලයක් ම ඇති වන්නේ ඒ බලයෙන් ය. ඒ බලය සමග ය. සෑම කුශල සිතක් සමග ම ඒ බලය ඇත්තේ ය. එය නැති වනු සමග ම ඇති වන්නේ අකුශල සිත් ය. මෙහි මුට්ඨසච්චය යි කියන ලද්දේ ඒ සිහියේ නැති බවට ය. දොළොස් අකුශල චිත්තයන් ගේ ඇති බවට ය.

අනිත්‍ය වූ නාම රූප ධර්මයන් නිත්‍යය යි වරදවා ගන්නා වූ ද, දුක් වූ නාම රූප ධර්මයන් සැපය යි ගන්නා වූ ද, සත්ව පුද්ගල ආත්ම නො වන නාම රූප ධර්මයන් සත්ත්වයෝ ය, පුද්ගලයෝ ය යි වරදවා ගන්නා වූ ද මෝහය අසම්පජඤ්ඤ නම් වේ. අවිද්‍යාව යනු ද එයට ම නමෙකි. අවිද්‍යාව මෙහි අන් තැනක විස්තර කර ඇත.

33. සීලවිපත්ති 34. දිට්ඨි විපත්ති

පාණාතිපාත අදින්නාදාන කාමේසුමිච්ඡාචාර මුසාවාද පිසුණාවාච ඵරුසාවාච සම්ඵප්පලාප යන පව්කම් සත කිරීම සිලවිපත්ති නම් වේ. විනය ක්‍ර‍මයෙන් කියත හොත් පාරාජිකා සංඝාදිසේස ඇවැත්වලට පැමිණීම සීලවිපත්තිය ය

සම්‍යග්දෘෂ්ටිය නසන වැරදි දැකීම දිට්ඨි විපත්ති නම් වේ.

නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකත දුක්කටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති.

යනුවෙන් දැක්වෙන දීමෙන් වන විපාක නැත. පැමිණෙන සැමට ම දෙන මහා දානවලින් වන විපාකයක් නැත. ආරාධනා කොට ගෙන්වා දීම පැමිණෙන ආගන්තුකයන්ට දීම මංගල්‍ය පිණිස දීම යන මේවායේ විපාකයක් නැත. පින්පව් වලින් වන විපාකයක් නැත. පරලොව සිටින්නවුන් මෙලොවට එන්නේ ද නැත. මෙලොව සිටින්නවුන් පරලොව යන්නේ ද නැත මවට කරන හොඳ නො හොඳින් වන විපාකයක් නැත. පියාට කරන හොඳ නො හොඳින් වන විපාකයක් නැත. මැරී නැවත උපදින්නෝ නැත. නිර්වාණයට අනුකූල ප්‍ර‍තිපදාවක් පුරන තමන් විසින් ඇති කර ගත් විශිෂ්ඨ ඥානයකින් මෙලොවත් පරලොවත් ප්‍ර‍කාශ කරන ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෝ නැතය යන දශවස්තුක මිථ්‍යාදෘෂ්ටිය දිට්ඨිවිපත්තිය ය. සාමාන්‍යයෙන් සියලුම මිථ්‍යාදෘෂ්ටි දිට්ඨි විපත්තිය ය.

 

35. අජ්ඣත්ත සංයෝජනං

36. බහිද්ධා සංයෝජනං

පලා යා නොහෙන ලෙස ගවයන් ගස්වල බඳින්නාක් මෙන් සත්ත්වයන් භවයෙහි බඳින ධර්මයෝ ඇත්තා හ. ඒවා සංයෝජන නම් වේ. කාමභවය අජ්ඣත්ත නම් වේ. රූපාරූපභව දෙක බහිද්ධ නම් වේ. සත්ත්වයන් කාම භවයෙහි බඳින ධර්ම අජ්ඣත්ත සංයෝජන නම් වේ. රූපාරූප භවයෙහි බඳින ධර්ම බහිද්ධා සංයෝජන නම් වේ. මතු පඤ්චක නිර්දේශයේ ඒවා විස්තර වන්නේ ය.

ද්වික නිර්දේශය නිමි.


ත්‍රික වශයෙන් දැක්වෙන ධර්ම එකසිය පහ

 

තීණි අකුසල මූලානි, තයෝ අකුසල විතක්කා

තිස්සෝ අකුසල සඤ්ඤා, තිස්සෝ අකුශල ධාතුයෝ,

තීණි දුච්චරිතානි, තයෝ ආසවා

තීණි සංයෝජනානි, තිස්සෝ තණ්හා,

අපරාපි තිස්සෝ තණ්හා, අපරාපි තිස්සෝ තණ්හා,

තිස්සෝ ඒසනා, තිස්සෝ විධා,

තීණි භයානි, තීණි තමානි, තීණි තිත්ථායතනානි, තයෝ කිඤ්චනා,

තීණි අංගණානි, තීණි මලානි,

තීණි විසමානි, අපරානි පි තීණි විසමානි,

තයෝ අග්ගි, තසෝ කසාවා,

අපරේපි තයෝ කසාවා,

අස්සාද දිට්ඨි, අත්තානු දිට්ඨි, මිච්ඡා දිට්ඨි,

අරති විහේසා අධම්මචරියා,

දෝවචස්සතා පාපමිත්තතා නානත්ත සඤ්ඤා,

උද්ධච්චං කෝසජ්ජං පමාදො,

අසන්තුට්ඨිතා, අසම්පජ්ඤ්ඤතා මහිච්ඡතා,

අහිරිකං අනොත්තප්පං පමාදෝ,

අනාදරියං දෝවචස්සතා පාපමිත්තතා.

 

අස්සද්ධියං අවදඤ්ඤු කෝසජ්ජං

උද්ධච්චං අසංවරෝ දුස්සීල්‍යං,

 

අරියානං අදස්සන කම්‍යතා

සද්ධම්මං අසෝතු කම්‍යතා

උපාරම්භචිත්තතා,

 

මුට්ඨසච්චං අසම්පජඤ්ඤං චේතසෝ වික්ඛේපෝ,

අයෝනිසෝමනසිකාරෝ කුම්මග්ග සේවනා

චේතසෝ ලීනත්තං

තිකං

(විභංගපාලි)

 

අකුශල මූල

1. ලෝභෝ 2. දෝසෝ 3. මෝහෝ

ගසක හෝ වැලක මුල ඇති කල්හි ඒ මුල නිසා බොහෝ අතු පතර සතර දිශාවට හා උඩටත් ලියලා යන්නාක් මෙන් ලෝභය ඇති කල්හි ඒ ලෝභයෙන් අනේකප්‍ර‍කාර අකුශල ධර්මයෝ ඇති වන්නාහ. ලෝභය ඇති වූ කල්හි ලෝභයෙන් මඩනා ලද පුද්ගල තෙමේ ඒ ලෝභයෙන් මෙහෙයන ලදුව මස් කෑම සඳහා සතුන් මරයි. සොරකම් කරයි. ධනය ගැනීම සඳහා සමහර විට මිනිසුන් ද මරයි. මාපියන් සතු ධනය ගැනීම සඳහා ඔවුන්ට ද නොයෙකුත් හිරිහැර කරයි. සමහරවිට මාපියන් ද මරයි. අනුන්ගේ ධනය කොල්ල කයි. ධනය සඳහා චෛත්‍ය බුදු පිළිම බිඳී. භික්ෂූන් මරයි. පරදාර සේවනය කරයි. නොයෙක් වඤ්චා කරයි. සුරාපානය කරයි. ඒ පව් සියල්ලට ම ලෝභය මුල බැවින් ලෝභය අකුශල මූලයෙකි.

ද්වේෂය ඇති වූ කල්හි එයින් ද අනේකප්‍ර‍කාර අකුශල ධර්මයෝ නැගී එති. ද්වේෂය ලෝභයට වඩා දරුණු ය. ලෝභයෙන් අකුශලයෙන් නැඟී වැවී එන්නේ සෙමිනි. ද්වේෂයෙන් ඉතා වේගයෙන් අකුශල ධර්මයෝ වහා නැඟී එති. ද්වේෂය ඇති වූ කල්හි එයින් මඩනා ලද පුද්ගලයා පළමුවෙන් රවා බලයි. ඔහුගේ මුහුණ යක් මුහුණක් බඳු වෙයි. පරුෂ වචන කියයි. අත්පා ඔසවයි. පොලු කඩු කිණිසි තුවක්කු ගනී. අනුන්ට පහර දෙයි. සමහර විට අනුන් මරයි. ගෙවල් ගිනි තබයි. දේපොල විනාශ කරයි. සමහර විට තමා ද දිවි නසා ගනී. ඒ සියල්ලට ම මුල ද්වේෂය ය. එබැවින් ද්වේෂය අකුශල මූලයකි.

මෝහය නුවණැස නැති කොට සත්ත්වයා අන්ධ කරන ධර්මයෙකි. මෝහයෙන් මුළා වූවහුට ආත්මාර්ථය නො දැනේ. පරාර්ථය ද නො දැනේ. ඔහුට පෙනෙන්නේ යුක්තිය අයුක්තිය සේ ය. අයුක්තිය යුක්තිය සේ ය. ධර්මය අධර්මය සේ ය. අධර්මය ධර්මය සේ ය. අර්ථය අනර්ථය සේ ය. අනර්ථය අර්ථය සේ ය. පින පව සේ ය. පව පින සේ ය. ඔහු අකාලවාදී වෙයි. අභූතවාදී වෙයි. අනර්ථවාදී වෙයි. අධර්මවාදී වෙයි. අවිනයවාදී වෙයි. ඔහුට නො කළ හැකි නීච ක්‍රියාවක් නො කළ හැකි පවක් නැත. ඔහු බලවතකු වී නම් වඩාත් පව්කම් කරයි. ඔහුට මෝහය නිසා ලෝභය ද නැඟ එයි. ද්වේෂය ද නැඟ එයි. ලෝභ ද්වේෂ මෝහ යන තුනෙන් ම පීඩිත වූ හෙතෙමේ මෙලොව ද දුකින් ජීවත් වී මරණින් මතු අපායෙහි ද උපදින්නේ ය. අනේක අකුශලයන්ට මුල් වන බැවින් මෝහය අකුශල මූලයකි. ලෝභ මෝහයෝ සංසාර ප්‍ර‍වෘත්තියට ද මූලයෝ වෙති.

අකුශල විතර්ක

4. කාමවිතක්කෝ 5. ව්‍යාපාදවිතක්කෝ

6. විහිංසාවිතක්කෝ

සත්ත්වයන් කැමති වන ඇලුම් කරන වස්තූහු කාමයෝ ය. මනාප වූ රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍ර‍ෂ්ටව්‍යයෝ ය, තවත් ක්‍ර‍මයකින් කියත හොත් සත්ත්වයනට ප්‍රියමනාප ආහාරපාන වස්ත්‍ර‍ ආභරණ පරිභෝගභාණ්ඩ ගේ වතු කුඹුරු රන් රිදී මුතු මැණික් මුදල් යනාදිය ද ගවාදි සත්ත්වයෝ ද අඹු දරු නෑ මිතුරෝ ද යන මොහු කාමයෝ ය. ඒ කාමයන් ලැබීම පිළිබඳ වූ ද, පරිභෝග කිරීම පිළිබඳ වූ ද, පරෙස්සම් කිරීම පිළිබඳ වූ ද, දියුණු කිරීම පිළිබඳ වූ ද කල්පනාව කාමවිතක්ක නම් වේ. කාම විතර්කයෙන් තොර ව ගිහි ජීවිතය නො පැවැත්විය හැකි ය. කාමයන්ගෙන් ඈත් ව දුකින් මිදෙනු පිණිස මහණදම් පුරන්නවුන්ට මෙය අනර්ථකර ය.

ව්‍යාපාද විහිංසා විතර්ක දෙක බෙහෙවින් සම බැවින් වෙන් කිරීම අපහසු ය. මෛත්‍රියට විරුද්ධ ස්වභාවය ව්‍යාපාදය ය. අන්‍යයන්ට යහපතක් කිරීම මෛත්‍රියේ ස්වභාවය ය. නපුරක් කිරීම ව්‍යාපාදයේ ස්වභාවය ය. එබැවින් අන්‍යයන්ට අවමන් කිරීම පහරදීම ආදියෙන් පීඩා කිරීම් පිළිබඳ කල්පනාව ව්‍යාපාද විතර්කය යි කිය යුතු ය.

කරුණාවට විරුද්ධ ස්වභාවය විහිංසාව ය. කරුණාවෙන් කෙරෙනුයේ දුක්ඛිතයන්ට පිහිට වීම ය. අන්‍යයන්ට දුක්දීම විහිංසාව ය. අන්‍යයන්ට දුක් දීම කරදර කිරීම පිළිබඳ කල්පනාව විහිංසා විතර්කය ය. ව්‍යාපාද විහිංසා විතර්කයන් ඉතිවුත්තක අටුවාවේ දක්වා ඇත්තේ මෙසේ ය:-

ව්‍යාපාදවිතක්කෝ අප්පියෝ අමනාපේ ච සත්තේ වා සංඛාරේ වා කුජ්ඣිත්වා ඔලෝකනතෝ පට්ඨාය යාව නාසනා උප්පජ්ජති. විහිංසා විතක්කෝ ඉමේ සත්තා හඤ්ඤන්තු වා වජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහේසුන්ති වා චින්තන කාලේ පන සත්තෙසු උප්පජ්ජති.

අකුශල සංඥා

7. කාමසඤ්ඤා 8. ව්‍යාපාදසඤ්ඤා

9. විහිංසාසඤ්ඤා

කාමයන් පිළිබඳ වූ කාමවිතර්ක සහගත සංඥාව කාමසඤ්ඤා නම් වේ. ව්‍යාපාද විතර් සම්ප්‍ර‍යුක්ත සංඥාව ව්‍යාපාදසඤ්ඤා නම් වේ. විහිංසාවිතර්ක සම්ප්‍ර‍යුක්ත සංඥාව විහිංසාසඤ්ඤා නම් වේ.

අකුශල ධාතු

10. කාමධාතු 11. ව්‍යාපාදධාතු

12. විහිංසාධාතු

කාමවිතර්කය ම කාමධාතු නම් වේ. ව්‍යාපාද විතර්කය ව්‍යාපාදධාතු නම් වේ. විහිංසාවිතර්කය විහිංසාධාතු නම් වෙ.

දුශ්චරිත

13. කාය දුච්චරිත 14. වචී දුච්චරිත

15. මනෝ දුච්චරිත

පාණාතිපාතා අදින්නාදානා කාමේසුමිච්ඡාචාර යන තුන කායදුච්චරිත නම් වේ. මේවාට කාය දුශ්චරිත යි කියනුයේ කයින් සිදු කෙරෙන නිසා ය. අනුන් ලවා මැරවීමේ දී හා අනුන් ලවා සොරකම් කරවීමේදී ඒවා වචනයෙන් ද සිදුවන නමුත් බෙහෙවින් කෙරෙන්නේ කයින් මනිසා සමහර විටෙක වචනයෙන් සිදු වුව ද කාය දුශ්චරිතය යි ම කියනු ලැබේ. සමහර විට ගම්වල හැසුරුණ ද නාගරිකයාට ගැමියා ය යි නො කියා නාගරිකයා ය කියන්නාක් මෙනි.

මුසාවාදය පිසුණාවාචය ඵරුසාවාචය සම්ඵප්පලාපය යන දුශ්චරිත සතර වචනයෙන් බොහෝ සෙයින් සිදුවන බැවින් වචීදුච්චරිත නම් වේ. ඒවාත් සමහර විට හස්තවිකාරයෙන් කයින් ද සිදු කරන්නේ ය.

අභිජ්ඣා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි යන මේ අකුශල් තුන මනෝ දුච්චරිත නම් වේ. මේ දුශ්චරිත හෙවත් අකුශලධර්ම නොයෙක් පොත්වල විස්තර කර ඇති බැවින් මෙහි විස්තර නො කරමු.

ආශ්‍ර‍ව

16. කාමාසව 17. භවාසව 18. අවිජ්ජාසව.

මේ ධර්ම තුන මතු චතුෂ්ක නිර්දේශයේ විස්තර වනු ඇත.

සංයෝජන

19. සක්කායදිට්ඨි 20. විචිකිච්ඡා

21. සීලබ්බතපරාමාස

මම ය කියා ද නුඹ ය කියා ද දෙවියා මිනිසා ගවයා අශ්වයා ඇතා කියා ද තවත් නොයෙක් නම් වලින් ද ව්‍යවහාර කරන්නා වූ සංස්කාර ධර්ම පුඤ්ජයන් විභාග කර බැලුවාම ඒවායේ ඇත්තේ රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේ ධර්ම කොටස් පස පමණෙකි. ඒවායේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට නො සමත් ධර්මය නො දත් අන්ධ පෘථග්ජනයෝ ඒවා රූප වේදනාදිය ලෙස තේරුම් ගැනීමට අසමත් බැවින් ඒ රූපාදි ස්කන්ධ පස මම ය නුඹය මිනිසාය දෙවියා ය කියා වැරදි ලෙස සලකති. ඒ වැරදි හැඟීම වැරදි පිළිගැනීම සක්කායදිට්ඨි නම් වේ. මෙයට ආත්ම දෘෂ්ටිය යි ද කියනු ලැබේ. මේ දෘෂ්ටිය එක් එක් ස්කන්ධයක සතර සතර ආකාරයකින් ඇති වන බැවින් ස්කන්ධපඤ්චකයෙහි ඇති වන සක්කාය දෘෂ්ටිය විසි වැදෑරුම් වේ. රූපස්කන්ධයෙහි සිව් වැදෑරුම් සක්කාය දෘෂ්ටිය මෙසේ ය.

1.  රූපං අත්තතෝ සමනුපස්සති.

2.  රූපවන්තං අත්තානං සමනුපස්සති.

3.  අත්තනි වා රූපං සමනුපස්සති.

4.  රූපස්මිං වා අත්තානං සමනුපස්සති.

1. ඇතැමෙක් රූපකයින් යාම් ඊම් හිඳීම් සිටීම් කෑම් පීම් ආදි ක්‍රියා සිදුවනු දැකීමෙන් ඒ රූපකය මම ය ආත්මය කියා වරදවා දකී. දැල්වෙන පහනෙහි ගිනි සිළත් වර්ණයත් දෙක එක් කොට, යමක් ගිනි සිළ නම් එය ම වර්ණය යි ද යමක් වර්ණය නම් එය ම ගිනි සිළ යයි ද ගන්නාක් මෙන් රූපය ආත්මය යි ද ආත්මය රූපය යි ද රූප ආත්ම දෙක දෙකක් නොව එකක්ම ය යි ද වරදවා ගනී.

2. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට රූපය ඇත ය කියා රූපය ඇති ආත්මයක් දකී. ගස ඡායාව ඇතියක් කොට ගන්නාක් මෙනි.

3. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන මලක සුවඳ ඇතුවාක් මෙන් ඒ ආත්මයෙහි රූපය ඇතය යි සලකති.

4. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය හෙප්පුවක මැණික් තිබෙන්නාක් මෙන් රූපය තුළ ඇතය යි ගනිති.

වේදනා ස්කන්ධය සම්බන්ධයෙන් සතර ආකාර සක්කායදිට්ඨිය ඇති වන්නේ මෙසේ ය. ඇතැමෙක් සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපෙක්ඛා වේදනාවන් ඇති වන කල්හි සැ