චතුරාර්‍ය්‍ය සත්‍යය
රේරුකානේ චන්දවිමල හිමි
පටුන
පටුන

චතුරාර්‍ය්‍ය සත්‍යය

(විසි වන මුද්‍ර‍ණය)

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.

2551/2007

සංඥාපනය

ලෝකයේ වාසය කරන මනුෂ්‍ය තිරස්චීනාදි සත්ත්වයන් පිළිබඳව හා අන්‍ය ලෝක වස්තූන් පිළිබඳව ද, සාමාන්‍ය ජනයාට ඇත්තේ වැරදි දැනීමකි. ඔවුහු ද්‍ර‍ව්‍ය නොවූ ක්‍රියා රාශියක් ද්‍ර‍ව්‍යයන් ලෙස ද, කුඩා ද්‍ර‍ව්‍ය සමූහයන් මහත් වස්තූන් ලෙස ද, සත්ත්ව පුද්ගල භාවයක් නැති ධාතු සමූහයක් සත්ත්වයන් පුද්ගලයන් ලෙස ද, අනිත්‍ය දෙය නිත්‍ය දෙයක් සැටියට ද, අශුභ දෙය සුන්දර දෙයක් හැටියට ද, දුක ම සුවයක් හැටියට ද, දුක් ඉපදීමේ හේතුව ම සැප ලැබීමේ හේතුවක් හැටියට ද, සත්‍ය වූ සැපය හා එය ලැබීමේ ප්‍ර‍තිපත්තිය මහත් නපුරක් හැටියට ද, වරදවා තේරුම් ගෙන සිටිති. තථාගතයන් වහන්සේ වනාහි ඒ සියල්ල තත්ත්වාකාරයෙන් දැන වදාළ සේක. ලෝක තත්ත්වය පිළිබඳ තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද ආකාරය ආර්‍ය්‍ය සත්‍යය නාමයෙන් හඳුන්වනු ලැබේ.

ලෝක තත්ත්වය පිළිබඳ වැරදි හැඟීම් ඇතිව එය ම පරම සත්‍යය හැටියට පිළිගෙන, එයට අනුව ම සිතන එයට අනුව ම සියලු ක්‍රියා කරන තැනැත්තා හට වැටහෙනුයේ තථාගතයන් වහන්සේගේ සත්‍යය වූ ආර්‍ය්‍ය සත්‍යය අසත්‍යයක් හැටියට ය. ඒ නිසා ම ඔවුනට මේ ධර්මය දැන ගැනීම ඉතා දුෂ්කර ය. බුද්ධ ධර්මයේ පරම සාරයත් චතුරාර්‍ය්‍ය සත්‍යය ම ය. එබැවින් නියම බෞද්ධයකු වන්නට නම් ආර්යසත්‍යයන් පිළිබඳ තරමක දැනුමක්වත් ඇති කර ගත යුතු ය. මෙකල වසන බෞද්ධ ගෘහස්තයන්ගෙන් තබා පැවිද්දන්ගෙන් ද වැඩි දෙනෙක් මේ ආර්‍ය්‍ය සත්‍යය පිළිබඳ ඡායා මාත්‍ර‍ දැනුමක්වත් නැතතෝ ය. මේ චතුරාර්‍ය්‍ය සත්‍යය අනුන්ගේ උපකාරයෙන් තොර ව ස්වශක්තියෙන් ම කෙනකුට සොයා ගත හැකි තේරුම් ගත හැකි ධර්මයක් ද නො වේ. ඒ ධර්මය තරමකින් වත් බෞද්ධ ජනයාට දැන ගැනීමට නම් පහසුවෙන් තේරුම් ගත හැකි සැටියට ලියවුණු පොත් තිබිය යුතුය. මේ වනතුරුත් එබඳු පොත් සුලභ වී නැති බැවින් බෞද්ධ ජනතාවට ආර්‍ය්‍යසත්‍යයන් තරමකින් වත් දැන ගැනුමට උපකාර වීමේ අදහසින් අපගේ නැණ පමණින් මහත් පරිශ්‍ර‍මයෙන් මේ පොත සම්පාදනය කරන ලදි.

අටුවා පොත් අතුරෙන් ද, චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්වා ඇත්තේ ‘සම්මෝහවිනෝදනී’ නම් වූ විභංගප්‍ර‍කරණාර්ථ කථාවේ හා ‘විසුද්ධි මාර්ගයේ’ ය. පාළි භාෂාව නොදත් සාමාන්‍ය ජනයාට ඒවායින් ප්‍රයෝජනයක් නො ලැබිය හැකි ය. පාළි භාෂාව දත් පමණින් ද ඒවා කියවා චතුරාර්‍ය්‍ය සත්‍යය තේරුම් ගැනීම පහසු වැඩක් නොවේ. ඒ ඒ පොත්වල චතුරාර්‍ය්‍ය සත්‍යය විස්තර කර තිබෙන්නේ ධම්මංසගනී ප්‍ර‍කරණයෙහි එන පරමාර්ථ ධර්ම විභාගයන් මැනවින් උගත් අයට දැන ගැනීමට සුදුසු සැටියට ය. පූර්වභාගයෙහි ඇති කර ගන්නා ලද පරමාර්ථ ධර්ම පිළිබඳ දැනුමක් නැතිව පාළි භාෂාව දත් පමණින් ම ඒවායේ යථාර්ථය දත හැකිවේය’ යන අදහසින් ඒ පොත් කියවන්නවුන්ට ඇති වනුයේ නො දැන ම ‘දැන ගතිමි’ යන රැවටීමක් පමණකි. ඒ රැවටීම නම්, කොහෙත් ම නො දැන සිටීමටත් වඩා නපුරකි. පාළි භාෂාව පමණක් උගෙන දහම් පොත් කියවා එසේ රැවටී සිටින අය මෙකල බොහෝ ය.

අප අදහස වූයේ පාළි භාෂාව හා පරමාර්ථ ධර්ම විභාගයන් ද කලින් දැන නො සිටින අයටත් මේ ධර්මය පිළිබඳ තරමකටවත් ශුද්ධ දැනුමක් ඇතිකර ගත හැකි වන සැටියට පොතක් සම්පාදනය කිරීමය. එබැවින් අප විසින් සම්මෝහවිනෝදනී ආදියෙහි චතුරාර්‍ය්‍ය සත්‍ය වර්ණනා කර තිබෙන මඟ නො ගෙන මේ පොත ලිවීමට අන් මඟක් ගන්නා ලදි. කෙසේ ලියූ කල්හි කියවන්නාට පහසුවෙන්, කාරණය අවබෝධ වේ දැයි කරුණක් පාසා ම කල්පනා කොට ඒ ඒ අවස්ථාවෙහි අපට කල්පනා වූ පරිද්දෙන් කරුණු පහදමින් මේ පොත සම්පාදනය කෙළෙමු.

නවකථා පොතක් කියවන්නකුට වෙහෙසක් නැති ව අර්ථයත් කථා රසයත් ලැබෙන සේ ලෙහෙසියෙන් අර්ථය හා ධර්ම රසය ලැබෙන හැටියට ගැඹුරු ධර්මයන් පිළිබඳ පොත් සම්පාදනය නො කළ හැකිය. එබැවින් කථිකයන්ගේ හෝ ලේඛකයන්ගේ හෝ සමත්කමේ අනුහසින් ම ගැඹුරු ධර්මයන් ලෙහෙසියෙන් තේරුම් ගන්නට බලාපොරොත්තු නො වී, ධර්මය අවබෝධ කර ගැනීමට පොත් කියවන්නා විසින් ද උත්සාහ කළ යුතුය. චතුරාර්‍ය්‍ය සත්‍යය දනු කැමතියන් විසින් මෙම පොත නවකථා පොතක් මෙන් වරක් දෙවරක් කියවා හැර නො දමා වාර බොහෝ ගණනක් නැවත නැවතත් කියවිය යුතුය. පොතේ කියවෙන කරුණු සිත්හි තබාගෙන ඒවා ගැන නැවත නැවතත් කල්පනා කළ යුතුය. එසේ කළ හොත් සියල්ල දත් කවරකුට වුව ද මේ පොතේ උපකාරයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ මනා දැනුමක් ඇති කර ගත හැකිවනු ඇත. මෙම පොත ආදරයෙන් කියවා තථාගතයන් වහන්සේගේ සත්‍ය වූ චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය උගෙන නියම බෞද්ධයන් වී සසර දුකින් මිදී නිවන් සුවය ලැබීමට සියල්ලෝ ම උත්සාහ කරත්වා.

මීට - ශාසනස්තිථිකාමී,

රේරුකානේ චන්දවිමල ස්ථවිර

ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට

2490 (1947) පෙබරවාරි 6 වැනි ගුරු දින දී ය.

ප්‍ර‍ස්තාවනා

ගෞරවාර්‍හ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසිනි.

ආගම් බොහෝ ය. දුකින් මිදෙනුවට මඟැ යි එකෙක පැවසුණු දෑ අනෙකක පැවසුණු දැයට වෙනසි. ඇත්ත දක්නා රිසියහු විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැන්ම ය.

රවි-ඉන්ද්‍ර‍-අග්නි යන තුන් දෙවියනට යාග හෝම කැරුම ඇවැසි ම දැය කොට වේදය කියයි. මීමංසා දර්ශනය එය ම තහවුරු කරනුවට කරුණු හැර පායි. අහුරමස්දා නම් මැවුම්කරු පිදුමත්, සුමනස්-සුවක්-සුකෘති යන තුන වැඩුමත් දුකින් මිදෙනුවට අවශ්‍යයෙන් ම කළ යුතු දෑ යැ යි ශරාථුස්ත්‍ර‍ දර්ශනය කියයි.

පුරුෂ ප්‍ර‍කෘති මහත් අහංකාර ශ්‍රෝත්‍ර‍ත්වක් චක්ෂුස් ජිහ්වා ඝ්‍රාණ වාක් හස්ත උපස්ථ පායු පාද මනස් ශබ්දතන්මාත්‍ර‍ ස්පර්ශතන්මාත්‍ර‍ රූපතන්මාත්‍ර‍ රසතන්මාත්‍ර‍ ගන්ධතන්මාත්‍ර‍ ආකාශ වායු තේජස් අප් පෘථිවි යන පස් විසි පදාර්ථ ප්‍ර‍ත්‍යක්ෂ කැරුම මෝක්ෂලාභයට අවශ්‍ය දෑ යැයි සාංඛ්‍ය දර්ශනය පණවයි.

සාංඛ්‍ය දර්ශනයෙහි කී දෑ පස්විස්සට ඊශ්වර පදාර්ථයත් එක්කොට මේ පදාර්ථ සවිස්ස දැන්මෙන් මෝක්ෂය ලැබේ යැ යි පාතඤ්ජල දර්ශනය දක්වයි.

ආත්ම ශරීර ඉන්ද්‍රිය අර්ථ බුද්ධි මනස් ප්‍ර‍වෘත්ති දෝෂ ප්‍රේත්‍යභාව ඵල දුඃඛ අපවර්ග යන පදාර්ථ දොළොස ප්‍ර‍ත්‍යක්ෂ අනුමාන උපමාන ශබ්ද යන ප්‍ර‍මාණ සතරින් මැන දැන ගැන්ම ම මෝක්ෂ ලාභයට සෑහේ යැ යි න්‍යාය දර්ශනය කියයි.

ද්‍ර‍ව්‍ය ගුණ කර්ම සාමාන්‍ය විශේෂ සමවාය අභාව යන සත මෝක්ෂය පිණිස අවබෝධ කටයුතු දෑ යැ යි වෛශේෂික දර්ශනයෙහි දැක්වෙයි.

ජීව අජීව දෙක තත්ත්වාකාරයෙන් දැන ගැන්ම ම විමුක්තියට අවශ්‍ය දෑ යැ යි ජෛන දර්ශනය පවසයි.

එක ම සත්‍ය වූ සච්චිදානන්ද - රූප පරමාත්මය හෙවත් බ්‍ර‍හ්මය ද, මායා - රූප වූ ලෝකය ද යන පදාර්ථ දෙක තතු සේ දැන් ම ම විමුක්තියට අවශ්‍ය යැයි වේදාන්ත දර්ශනය කියයි.

(දේවත්‍රිත්වාදියෙහි) විශ්වාසය ප්‍රාර්ථනාව පිළිපැදීම සක්‍රමේන්තුව යන සතර ක්‍රෛස්තව සමයෙහි මෝක්ෂ ලාභයට ඉවහල් ප්‍ර‍ධාන අවයව කොට දැක්වෙති.

‘පරලොවක් නැතැයි, කළ යුත්තේ මැරෙන තාක් හොඳට කා බී කම් සැප විඳුම යැ’යි උගන්වන චාර්වාක දර්ශනය පෘථිවි අප් තේජස් වායු යන පදාර්ථ සතරක් ම පණවයි.

අන් දර්ශන ද මෙහි දැක්වුණු දැයට හුරු වූ යම් යම් දෑ දත යුතු ම කොට, ඇවැසි ම කොට දක්වයි.

අන් හැම දර්ශනයක ම සර්වප්‍ර‍කාරයෙන් කෙසේ වෙතත්, දත යුතු කිසිවෙක ඡායා මාත්‍ර‍යක් ඒක දේශයකින් නො දැක්වෙන්නේ නො වේ. එකී දර්ශන පහළ කළ අන්‍ය ශාස්තෘවරයන් ගත් මගින් අනෙකක් ම තථාගත ශාන්තිනායක ශාක්‍ය මුනීන්ද්‍ර‍ සර්වඥයන් වහන්සේ ගත් සේක. කිසි ම දෘෂ්ටි ගතිකයකු විසිනුදු ඉවතැ නො ලියැ හැකි සතර වැදෑරුම් පදනමෙක ස්වදේශනා ධර්මය පිහිටුවා ලූ සේක. ආගමක් අවශ්‍ය වනු යේ දුකක් ඇතැයි පිළිගන්නහුට ය. දුක කවර සැටියෙන් තේරුම් ගත්තත්, ‘මෙහි දුක් ඇතැ’ යි හේ පිළිගනී. එයින් මිදෙනු පිණිසම ය, ඔහුට ආගමක් අවශ්‍ය වනුයේ. මෙහි දුක් ඇත්නම් සැප ලබනුවට ඔහුට බාධක වනුයේ ඒ දුක් හරි හැටි නො දැන, ඒ සියලු දුක හෝ ඉන් කොටසක් හෝ සැපයැ යි වරදවා ගෙන, එහි ඇලීම යැයි ඔහු විසින් පිළිගත යුතු ය. දුකක් ඇති නම් එයට ඉඳුරා විරුද්ධ සැපක් ඇති බව හැම දෘෂ්ටි ගතිකයා ම පිළි ගනී. දුකට හේතුව තෘෂ්ණාව වන කැලැ‘එය දුරැලුවොත් දුක නො වේ. සැප ලැබේයැ’යි පිළිගැනේ. ඒ තෘෂ්ණාව නසන මඟ ම දුක් දුරැ ලන සැප ලබන මඟ වේ. මෙසේ “දුක, දුක් හෙය, සැප, සැපට මග” යන සතර ඇත්ත දුකින් මිදෙනු රිසි කා විසිනුත් තත් වූ පරිදි අවබෝධ කටයුතු බව මැදහත් වැ විමසන්නාහු විසින් පිළි ගත යුතු ය. මේ කරුණු සතර සිය දේශනාවෙහි පදනම් කැරැ වදාළ සර්වඥයන් වහන්සේ එයට ‘චතුස්සත්‍ය’ යන නම දුන් සේක. පන්සාළිස් වසක් ලෝකාර්ථ චර්‍ය්‍යවෙහි යෙදුණු ඔබ වහන්සේ ධර්ම දේශනා වශයෙන් වදාළ කිසි ම වචනයෙක් චතුස්සත්‍ය ප්‍ර‍කාශයෙන් වෙන් නොවී ය. එබැවින් “සච්ච විනිම්මුත්තාහි භගවතො දෙශනා නත්ථි” යි නෙත්ති අටුවාවෙහි දැක්විණ.

මරණය හී පහරක් ලදුවකු “ඒ ඊය විද්දේ කවරෙක් ද? කෙබන්දෙක් ද? ඔහු නම් ගම් ඈ තතු ඔහු මා පියවරුන් තතු ඔවුන්ගේ මා-පිය ආදීන්ගේ තතු කවර කවර දැ යි අසන අසන ප්‍ර‍ශ්නයට උත්තර දිදී පමාවන, නො වියත් බොරු වෙදකු සේ, අන් තොටුවෝ දුකෙහි ඇලී සිටුනා මෝහාන්ධයනට ලොව අග මුල කියන්නට හෝ එහි අන්තානන්ත බව කියන්නට හෝ එබඳු ම අනවශ්‍ය අන් දැයක් වණන්නට හෝ තැතනූහ. යටැ කී ඊ පහර ලදුවහු ගේ මූඪ ප්‍ර‍ශ්නයට උත්තර නො දී, ඊය විදි තැනැත්තහු කවුරු වුවත්, ඊ-පහරින් වූ වණය සුව කැරැ ගන්නට මේ බෙහෙත් ගන්නැයි කියන නුවණැති වෙදහු සෙයින් ශාක්‍ය මුනීන්ද්‍ර‍යන් වහන්සේ ලෝකයේ අක්මුල් අනන්තවත් බව හෝ අනන්ත බව ආදිය ගැන අසන්නවුන් ගේ ඒ අනවශ්‍ය ප්‍ර‍ශ්න විසඳන්නට නො ගොස්, දත යුත්තේ ලොව අක්-මුල් ආදිය නොව “තමා නම් කිමෙක් ද? එය දුක් ද? සැප ද? දුක් නම් එයට හේතු කිම ද? දුකෙන් අන්‍ය සැපක් ඇත් ද? එයට මග කිමෙක් ද?” යන මේ කරුණු යැයි වදාරා ඒවා විස්තර කළ සේක.

මෙයින් හැගෙනුයේ කිමෙක් ද? අන් ආගම් සේ දුක් විඳින්නහුට වට පිට ඒ මේ අත අකුල් අස්සේ ඇද ගෙන නො ගොස්, එක එල්ලේ ම ඒ සඳහා අවබෝධ කටයුතු දෑ විදහා පැහැදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාව ම බව ය.

බුදු දහමෙහි සිදුරු සොයන ඇතැම් අන් තොටුවෝ එය සර්වාශුභවාදයෙකැ යි (හැම දැයක ම නරක පැත්ත පමණක් දක්වන දහමෙකැයි) දොස් නගත්. ඔවුන් මෙසේ දොස් නගනුයේ දුඃඛ - සමුදය සත්‍ය දෙක ගැන වදාළ දෑ කම් සුවෙහි ගිලුණු ඔවුනට නො රුස්නා බැවිනි. කවර ලොවකට කවර තත්ත්වයකට ගියත් පංචකාම රසාස්වාදය ඔහු පතති. එහි නිසරු බව සිතන්නට ද බිය වෙති. එබැවින් බුද්ධ ධර්මයෙහි දැක්වෙන දුඃඛ සත්‍යය-සමුදය සත්‍යය විස්තර බොරු ගැලවුම් පතන ඔවුනට නො මිහිරි ය. අන් දෙකෙහි ද අගයක් අහංකාර මමීකාර මානයන් ගෙන් වෙන් වන්නට නො කැමති ඔවුනට කිසිසේත් නො වැටහේ.

ලොවැ ශුභ පැත්තක් ම දක්නා සර්ව සුභවාදියා (optimist) විසින් සිතා බැලිය යුතු කරුණක් එයි :-

කුහුඹු පණු පළඟ ආදීහු සුහුණු කටුසු ආදීනට ගොදුරු වෙති. සුහුණු ඈ හු සර්පාදීනට ගොදුරු වෙති. සර්පාදීහු හූරු ආදීනට ගොදුරු වෙති. හූරු ආදීහු මිනිසාට ගොදුරු වෙති. මිනිසා ද ව්‍යාඝ්‍රාදීනට ගොදුරු වේ. නැතහොත් අන් මිනිසකුගේ බලයට වහල් වේ. එක් මිනිස් ජාතියක් අන් ජාතියක ජනයා තළා පෙළා මරා තම වශයට ගනී. වරක වහල් වූ ජාතිය ද අවස්ථා ලත් කෙණෙිහ තමන් පෙලූවන් පෙළා තළා මරා ඔවුන් තම අත් අඩංගුවට ගනී. මේ අරගලය ලොව ඇති තාක් නො නවතී. මෙසේ වූ ලොවක ඒකාන්ත ශුභ පැත්තෙක් කොයින් ද? ආරෝග්‍යශාලාවෙක ශල්‍යකර්මාගාර, කාශවාට්ටු, සමාජ රෝගී වාට්ටු ආදිය ද, අනාථාගාර ද, සිර ගෙවල් ද, උම්මත්තකාගාර ද, යුද බිම් ද දෙස සිහි නුවණ යොමා බලන්නකුට ලොව ගිනි වළක් සේ නො හැගේ ද?

ඉපැත්ම පටන් මරණය තෙක් මිනිසා කරනුයේ තමා පසු කළ කරදර දෙස ආපසු බැලීමත්, ආයෙත් ඒ දුක් වඩ වඩා මහත් ව ඒ දෝ යි අනාගතය බැලීමත් බලමින් බිය නො වී එයට කළ යුතු දෑ කිරීමෙහි ව්‍යාවෘත වීමත් ය. මේ අතර කිසි මොහොතක සිහිනයක් බඳු වූ ක්ෂණික කාම සුඛ වේදනා මාත්‍ර‍යක් ලැබ එය ම මහත් කොට තකා අන් සියලු දුක් නො මෙනෙහි කරතොත් එය නුවණින් නො ව නො නුවණින් කැරෙන්නකි. ගිනි වළෙක වැටුණු පිණි බිඳක් පමණටවත් එවැනි ක්ෂණික සුඛ වේදනා පුළුල් නුවණැතියා සරු කොට නො තකයි.

මෙසේ වූ ලෝකයෙහි අස්සක් මුල්ලක් නෑර හැම තන්හි ම පැවති දුකෙහි ඇති සැටිය පැවසුණු බුද්ධ ධර්මය වූ කලි නැති සැපයක් ඇතියක් කොට දක්වමින් ශෝකය නිවා ගන්නට මත්පැන් බී ගත්තකුගේ කීමක් වැනි, ලොව මුළා කොට සැප හීන දක්වන සර්වශුභවාද මායාවට වඩා සර්වප්‍ර‍කාරයෙන් ශ්‍රේෂ්ඨය. අනුවණයාට සත්‍යය අමිහිරි වුව ද නුවණැතියාට එය මිහිරිය.

මෙ සේ කලැ ලොව දුකැ යි දක්වන බුද්ධ ධර්මය සර්වාශුභවාදයෙක් ද? නැත. එය දුක් පැත්ත පමණක් නො වේ. සැප පැත්ත දක්වයි. දුකෙහි දුක් බව ද එයට හේතුව වද පෙන්වා එයින් නො නැවතී, දුකෙහි ඉන්නවුන්ට ඉන් ගොඩ නැගෙනවුනට එල්බී ගත යුතු එක ම ප්‍ර‍තිෂ්ඨාව නො පෙරැලෙන ඒකාන්ත සැපය මෙ යැයි දක්වයි. එයට මඟ ද දක්වයි. මෙසේ අශුභ පැත්ත අශුභ වශයෙනුත් ශුභ පැත්ත ශුභ වශයෙනුත් දක්වන බුද්ධ ධර්මය සර්වාශුභ වාදයෙක් (Pessimism) ද නො වේ. සර්වශුභ වාදයෙක් (Optimism) ද නො වේ. එය සත්‍ය ප්‍ර‍කාශය යි. යථාභූත වාදය යි. ඇති සැටි විදහා පෑම යි. කිසිම අන්තයකට නොවැටුනු මධ්‍යම මාර්ගය දක්වන එක ම ධර්මය යි. මෙසේ වූ සර්වඥ දේශනාව කිසිවකු විසින් නො පිළිබැහියැ හැකි සත්‍ය භාවය ඇති දුඃඛාදි සතර සත්‍යයන් පදනම් කොට ඇති බැවින් ම ග්‍ර‍හයන් මැද හිරු සෙයින් අන් හැම දර්ශනයක් අභිබවා බබළයි.

බුද්ධ දේශනාවෙහි දැක්වෙන දුඃඛසත්‍ය විස්තරයට හසු නොවන කිසි ම දුඃඛ විභාගයෙක් අන් කිසි ම දර්ශනයෙක ශාස්ත්‍රයෙක නැත. එයට හසු නො වූ කිසි ම තෘෂ්ණා විස්තරයෙක්, කිසි ම සැප විස්තරයෙක්, කිසි ම ප්‍ර‍තිපත්ති විස්තරයෙක් මොන ම අන්‍ය ධර්ම ශාස්ත්‍රයෙක නැත. එසේ ම එහි තරම් කේවල පරිපූර්ණ කොට ඒ සත්‍ය සතර විස්තර කළ අන් කිසි ද දහමෙක් ලොවැ නැත. දුකින් මිදෙනු පිණිස දත යුතු සියල්ල එහි ඇත්තේ ය. සියලු සතුන් ගේ පියවර මැමත් (mammoth) නම් ඇතාගේ පිය සටහනෙහි අඩංගු වනු විනා, එහි ඇතුළට ම හසුවනු විනා, එය ඉක්ම එයට පිටින් නො යන්නා සේ ඇති තාක් සියලු සත්‍යයෝ මේ බුද්ධ දේශිත සත්‍ය දේශනාවෙහි ඇතුළත් වෙති.

චතුස්සත්‍ය දේශනාව කොහෙත් ම තේරුම් නො ගත්තේ බුද්ධ ධර්මය කො හෙත් ම නො දන්නෙකි. එ බැවින් බුද්ධාගමය දනු කැමතියන් විසින් චතුස්සත්‍යය දේශනාව විස්තරයෙන් උගත යුතු. ඒ ඉගැනම මතු සත්‍ය ප්‍ර‍තිවේධයට ප්‍ර‍ත්‍යය වෙයි.

චතුස්සත්‍යය සම්බන්ධයෙන් කුඩා පොත් පත් කිහිපයක් ඇතත් මෙතරම් ලිහිල් ලෙසත් විස්තරවත් එය දැක්වුණු මෙතරම් මහත් ග්‍ර‍න්ථයක් මේ තාක් හෙළ බසින් පළවී නැත. නූගත්නට පමණක් නොව උගත්නට ද හස්ත සාර වස්තුවක් වූ මේ චතුරාර්‍ය්‍ය සත්‍ය විභාගය එයට ම සුදුසු සමතා අතින්, ලක්දිව අද්විතීය ධර්මධරයකු අතින්, ලියැවීම ධර්මඥානය පතන හෙළයන්ගේ භාග්‍යයෙකි. ග්‍ර‍න්ථ කර්තෘ වූ ආභිධම්මික රේරුකානේ චන්දවිමල තෙරපාණන් වහන්සේ සෑම දෙනාගේ නොවක් පැසසුමට බඳුන්හ.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර

1947 පෙබරවාරි මස 10 වන දින, පිරිවෙන, බලංගොඩ.

ප්‍රාරම්භය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චතු සච්චං පකාසෙත්වා චතුමග්ගඵලෙ සුභෙ,

පතිට්ඨපෙත්වා සංසාරා යො තාරෙසි බහුජ්ජනෙ.

-

තං ලෝකනාථං සුගතං ධම්මඤ්ච තෙන දෙසිතං

සංඝඤ්ච ඔරසං තස්ස අභිවන්දාමි සාදරං

සකලඥෙය පාරගත වූ මහා කාරුණික වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ඉතා දුකසේ දානාදි සමතිස් පෙරුම් දහම් පුරා, පරම ගම්භීර චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ප්‍ර‍තිවේධ කොට පස් මරුන් පරයා සර්වඥත්වයට පැමිණ වදාළේ, චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ නො කළ නිසා ම ඉතා දීර්ඝ කාලයක පටන් නැවත නැවතත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදි දුඃඛයන්ට හා නරක තිර්‍ය්‍යක් ප්‍රේත අසුරකාය යන සතර අපායෙහි වූ ඝෝර කටුක භයංකර දුඃඛයන්ටත් අසුවෙමින්, කිසි පිහිටක් නො මැතිව, සංසාරයෙහි ඔබ මොබ පාවෙමින් සිටින සත්ත්ව සමූහයාට ඉන් මිදී අමෘත මහා නිර්වාණ සංඛ්‍යාත උත්තම භූමියට පැමිණෙනු සඳහා චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ප්‍ර‍කාශ කරනු පිණිස ය.

සම්බුද්ධත්වයට පැමිණියා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත් සති ගෙවා, බ්‍ර‍හ්මාරාධනාව පිළිගෙන බරණැස ඉසිපතනයට වැඩ වදාරා පස්වග මහණුන් සහිත වූ දස දහසක් සක්වළින් පැමිණ රැස් වූ දෙවි බඹුන්ට ප්‍ර‍ථමයෙන් ම දේශනා කළ ධර්මය ද චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ය. “සසර සැරිසරන්නා වූ සත්ත්වයා හට දුකින් මිදී නිවනට පැමිණීමට තිබෙන නො වරදින එකම උපාය චතුරාර්‍ය්‍ය සත්‍යය තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීමය.” යනු භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම ය. චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ නො කොට නිවනට පැමිණ දුකින් මිදිය හැකිය යි යමෙක් කියා නම් එය මිත්‍යාවක් බව :-

“සෙය්‍යථාපි භික්ඛවෙ, යො එවං වදෙය්‍ය, අහං ඛදිරපත්තානං වා සලලපත්තානං වා ආමලක පත්තානං වා පුටං කරිත්වා උදකං වා තාලපත්තං වා ආහරිස්සාමීතී නෙතං ඨානං විජ්ජති. ඒවමෙව ඛො භික්ඛවෙ, යො එවං වදෙය්‍ය, අහං ඛො දුක්ඛං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච දුක්ඛසමුදයං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච දුක්ඛනිරොධං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච දුක්ඛනිරොධගාමිනී පටිපදං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච දුක්ඛස්සන්තං කරිස්සාමීති නෙතං ඨානං විජ්ජති”

යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදි.

“මහණෙනි, මම කිහිරි කොළවලින් හේ අසෝක කොළවලින් හෝ නෙල්ලි කොළවලින් හෝ ගොටුවක් කොට, දිය හෝ ගෙනෙන්නෙමිය තල්පතක් හෝ එහි ලා ගෙනෙන්නෙමි යයි යමෙක් කියන්නේ වී නමුත් එය සිදුකළ හැකිවීමට හේතුවක් නැතුවාක් මෙන් යමෙක් මම දුඃඛාර්‍ය්‍ය සත්‍යය තත් වූ පරිද්දෙන් අවබෝධ නො කොට, දුඃඛසමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිද්දෙන් අවබෝධ නො කොට, දුඃඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය තත් වූ පරිද්දෙන් අවබෝධ නො කොට, දුඃඛනිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය තත් වූ පරිද්දෙන් අවබෝධ නො කොට, දුක් කෙළවර කරන්නෙමැයි කියන්නේ වී නමුත් එය සිදු වීමට හේතුවක් නැත්තේය” යනු එහි තේරුමයි.

චතුරාර්‍ය්‍ය සත්‍යාවබෝධයෙහි වටිනාකම

සෝවාන්වීමය, සකෘදාගාමී වීමය, අනාගාමී වීමය, රහත් වීමය, පසේ බුදු වීමය, ලොව්තුරා බුදු වීම යයි කියනු ලබනුයේ ඒ ඒ තරාතිරමින් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කිරීමයි. පළමුවරට චතුරාර්‍ය්‍ය සත්‍යය තත්ත්වාකාරයෙන් අවබෝධ කළ තැනැත්තේ එකෙණෙහි මලාමක වූ පෘථග්ජන භාවයෙන් නැගී, තථාගතයන් වහන්සේගේ ආර්‍ය්‍යශ්‍රාවක ගණයට ඇතුළත් පුද්ගලයෙක් වන්නේ ය. ඔහුට සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.

සෝවාන් පුද්ගලයා තමන් ලැබූ සත්‍ය දර්ශනඥානයේ බලයෙන් මතු කිසි කලෙක අපායෙහි නූපදින්නේ ය. ඔහු මතු සසර ඉපදෙතත් සත්වරකට වඩා නූපදනේ ය. සත් ජාතියකින් මතු ලබන්නට තිබුණු ජාති ජරා මරණාදී දුඃඛයෙන් ඔහු මිදෙන්නේ ය. ඔහුට ඉතිරි වනුයේ ඒ ජාති සතේ දී ලබන්නට වන ජාති ජරා ව්‍යාධි මරණාදි දුක් ස්වල්පයක් පමණකි.

අනාගත කාලය ඉතා දීර්ඝ වූවකි. එය දින මාස වර්ෂ ගණනින් තබා කල්ප ගණනිකුදු ප්‍ර‍මාණ නො කළ හැකි ය. එහි අවසාන කොණක් ඇත්තේ ම නැත. ඒ දීර්ඝ වූ කාලයෙහි නැවත නැවතත් උපදනා වූ මේ සත්ත්වයන්ගෙන් එක් එක් පුද්ගලයකු විසින් ඉපදිය යුතු වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. අපායෙහි උපදින්නට සිදුවන වාරයන් ගේ ප්‍ර‍මාණයක් ද නැත. එබැවින් එක් එක් පුද්ගලයකුට අනාගතයෙහි ලබන්නට වන දුඃඛස්කන්ධය ඉතා මහත් ය. සෝවාන් පුද්ගලයාට ඉතිරිව තිබෙන ජාති සතකට අයත් දුක් රැස නිවීගිය දුඃඛස්කන්ධය හා සසඳා බලතහොත් ඉතා සුළු දෙයකි.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ නියපිට ධූලි ස්වල්පයක් තබා භික්ෂූන්ට දක්වා “මහණෙනි! මාගේ මේ නියපිට තිබෙන ධූලි විල්න හා මහ පොළොවේ පස්වලින් කවරක් වැඩිදැයි” විචාළ සේක. භික්ෂූහු “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! නුඹ වහන්සේගේ නියපිට ධූලිය ඉතා අල්පය. මහ පොළොවේ පස ම ඉතා බොහෝ ය. නුඹ වහන්සේ ගේ නියපිට ඇති ධූලිය මහ පොළොවේ පසෙන් දහසින් පංගුවකුදු නො වන්නේ යයි සැලකළෝ ය. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක් :-

“එවමෙව ඛො භික්ඛවෙ! අරියසාවකස්ස දිට්ඨි සම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතොවිනො එතදෙව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛිණං පරියාදින්නං අප්පමත්තකං අවසිට්ඨං නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, නං සතසහස්සිමං කලං උපෙති, පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදීදං සත්තක්ඛත්තුපරමතා. ”

යනුවෙන් “මහණෙනි, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළා වූ සෝවාන් වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයා හට ක්ෂය වූ දුඃඛය ම ඉතා බොහෝ ය. ඉතිරි දුක සුළුය. එය ක්ෂය වූ දුඃඛයෙන් සියයෙන් පංගුවකුදු නො වන්නේය, දහසින් පංගුවකුදු නො වන්නේය, ලක්ෂයෙන් පංගුවකුදු නො වන්නේය” යි වදාළ සේක.

අභිසමය සංයුත්තකයෙහි හා සච්චසංයුක්තකයෙහි ද සූත්‍ර‍ බොහෝ ගණනක ම නොයෙක් උපමාවලින් මේ කාරණය වදාරා තිබේ. චතුරාර්‍ය්‍ය සත්‍යාවබෝධය මේ සා මහත් නිදහසක් ලබාදෙන දෙයක් වන බැවින් ඒ සත්‍යයන් තත්ත්වාකාරයෙන් අවබෝධ කරන්නා වූ ඥානය පමණ වටිනා දෙයක් මිනිස් ලොව තබා දෙව්ලොව බඹලොවවත් නැත යයි කිය යුතුය. එහෙයින් වදාළහ. :-

“පථව්‍යා එකරජ්ජෙන සග්ගස්ස ගමනෙන වා

සබ්බලොකාධිපච්චේන සොතාපත්ති ඵලං වරං”

‘සක්විති රජකමට ද වඩා, ස්වර්ගයට යාමට ද වඩා, සියලු ලොව අධිපති වීමට ද වඩා සෝවාන් ඵලය උතුම්ය’ යනු මෙහි තේරුමයි. සෝවාන් ඵලය යනු ආර්‍ය්‍යසත්‍යාවබෝධයෙන් ලැබෙන ඵලයයි.

චතුරාර්‍ය්‍යසත්‍යාවබෝධය කරන ඥානය යමකුට ලැබෙතහොත් එයට වඩා උතුම් ලාභයක් නැත. බුද්ධ කාලයෙහි හා ඒ සමීප කාලයෙහි විසූ බොහෝ මනුෂ්‍යයෝ චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කොට නිවන් දැක දුකින් මිදුණාහ. බොහෝ දෙන ඒ සඳහා මහා ධනස්කන්ධයන් හැර දමා, ප්‍රාණය සේ ප්‍රිය අඹුදරුවන් හැර දමා පැවිදි වූහ. මෙකල වසන ගිහි පැවිදි සැම දෙනා ම වාගේ මෝහයෙන් මුළාව තෘෂ්ණාවට වාල්ව එකිනෙකා පරයා පොහොසත් වීමට උත්සාහ කරනු මිස, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කිරීම ගැන සිතින්වත් නො සිතන්නාහුය. එබැවින් වර්තමාන ගෘහස්ත ප්‍ර‍ව්‍ර‍ජිතයෝ සර්වඥශාසනයෙන් ලබාගත යුතු නියම ප්‍රයෝජන නො ලබති. ගිහියන් කෙසේ වුවත් පැවිදි පක්ෂය මේ සඳහා විශේෂයෙන් ම උත්සාහවත් විය යුතුය. පැවිදිවීමේ පරමාර්ථය ද එය ම ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරන ලදි.:-

“යෙහි කෙවි භික්ඛවෙ! අතීතමඬානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිංසු. සබ්බෙ තෙ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය, යෙ හි පි කෙචි භික්ඛවෙ! අනාගතමඬානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිස්සන්ති, සබ්බේ තෙ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය, යෙ හි පි කෙචි භික්ඛවෙ! එතරහි කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජන්ති සබ්බේ තෙ චතුන්නං අරිය සච්චානං යථාභූතං අභිසමයාය.”

“මහණෙනි, පෙර යම් කුල පුත්‍ර‍ කෙනෙක් මනා කොට ගිහි ගෙයින් නික්ම පැවිදි වූවාහු ද ඒ සියල්ලෝ ම සතරක් වූ ආර්‍ය්‍ය සත්‍යයන් තත් වූ පරිද්දෙන් අවබෝධ කරනු පිණිස පැවිදි වූහ. මහණෙනි, අනාගතයෙහි යම් කුල පුත්‍ර‍ කෙනෙක් මනා කොට ගිහිගෙන් නික්ම පැවිදිවන්නාහු නම්, ඒ සියල්ලෝ ම සතරක් වූ ආර්ය සත්‍යයන් තත් වූ පරිදි අවබෝධ කරනු පිණිස ම පැවිදි වන්නාහ. මහණෙනි, මෙකල යම්කිසි කුලපුත්‍ර‍ කෙනෙක් මනාකොට ගිහිගෙන් නික්ම පැවිදිවෙත් නම් ඒ සියල්ලෝම සතරක් වූ ආර්‍ය්‍ය සත්‍යයන් තත් වූ පරිදි අවබෝධ කරනු පිණිස පැවිදි වෙත්ය” යනු එහි අදහසයි.

මෙතෙක් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර නො ගත් තැනැත්තන් විසින් අන් හැම දෙයක් ම පසු කොට අන් හැම කටයුත්තකට ම වඩා ආදරයෙන් ඕනෑකමින් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට වීර්‍ය්‍ය කළ යුතු බව සියල්ල දත්තා වූ මහාකාරුණික වූ බුදුරජාණන් වහන්සේගේ අදහසය. එබැවින් උන්වහන්සේ එක් දිනක් භික්ෂූන් අමතා විචාරන සේක්: “මහණෙනි හැඳිවත හෝ හිස හෝ ගිනි ගත හොත් එකල්හි කුමක් කළ යුතු ද? කෙසේ පිළිපැදිය යුතු ද?” එකල්හි භික්ෂූහු “ස්වාමීන් වහන්ස, හැඳිවත හෝ හිස ගිනි ගත් කල්හි එය නිවා ගැනීම පිණිස ම ඉතා ඕනෑකමින් උත්සාහ කළ යුතුය” යි සැල කළෝය. එකල භාග්‍යවතුන් වහන්සේ :-

“ආදිත්තං භික්ඛවේ! චෙලං වා සීසං වා, අජ්ඣුපෙක්ඛිත්වා, අමනසිකරිත්වා අනභිසමෙතානං චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය, අධිමත්තො ඡන්දො ච, වායාමො ච, උස්සාහො ච, උස්සොළ්හී ච, අප්පටිවානී ච, සති ච, සම්පජඤ්ඤඤ්ච කරණීයං”

යනුවෙන් “මහණෙනි, ගිනි ගත්තා වූ හැඳිවත ගැන හෝ හිස ගැන හෝ උපේක්ෂකව කල්පනා නො කොට ඒ අවස්ථාවේදී ද අවබෝධ නො කළ සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිස බලවත් වූ ඡන්දය ද, ව්‍යායාමය ද, උත්සාහය ද අධික උත්සාහය ද, සිහිය ද, නුවණ ද පැවැත්විය යුතුය” යි වදාළ සේක.

හැඳිවත හෝ හිස හෝ ගිනිගත් කල්හි ඒ ගැන නො සලකා සිටියත් එයින් වෙතොත් විය හැක්කා වූ විශාල ම නපුර නම් එක් වරක් මරණයට පැමිණීම පමණකි. එක්වරක් ඇවිළුණු ගින්නෙන් හත් අටවරක් දස දොළොස් වරක් මැරෙන්නේ නො වෙයි. චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ නො කළ හොත් සත්ත්වයාහට ජාතියෙන් ජාතිය ඉපිද නැවත නැවත සිදුවන්නා වූ මරණ මෙතෙකැ යි පමණ කළ නොහේ. එක් වරකදී වන මරණය වෙන්නට හැර ඒ අවස්ථාවේ දී උත්සාහ කොට චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගත හොත් මතුවන්නා වූ ප්‍ර‍මාණයක් නැති මරණ නො පැමිණෙන්නේ ය. ඒවායින් නිදහස් වන්නේ ය. තථාගතයන් වහන්සේ විසින් හැඳිවත ගිනිගත් කල්හි වුව ද හිස ගිනි ගත් කල්හි වුව ද චතුස්සත්‍යාවබෝධය පිණිස ම උත්සාහ කළ යුතු බව වදාළේ එහෙයිනි.

එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක. “මහණෙනි, සියක් අවුරුද්දකට ආයු ඇත්තා වූ පුරුෂයකු හට කෙනෙක් අවුත් ‘එම්බා පුරුෂය, මෙහි එව. මා හා ආ කල්හි නුඹට දිනපතා උදයෙහි යහුල් සියයකින් අනින්නාහ. දවල් යහුල් සියයකින් අනින්නාහ. සවස යහුල් සියයකින් අනින්නාහ. මෙසේ දිනපතා යහුල් තුන් සියයකින් ඇනීම් කරන්නා වූ නුඹට සියවසක් ගත වූ කල්හි චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ වන්නේය’ යි කියා නම්, මහණෙනි, වැඩ කැමති පුරුෂයා විසින් එසේ ද චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරන්නට යෑම සුදුසුය. කුමක් හෙයින් ද? මහණෙනි, පටන් ගැනීමක් නැත්තා වූ මේ සංසාරයෙහි එක් එක් කෙනකු විසින් ලැබූ යහුල් පහර වල, කඩු පහර වල, පොරෝ පහර වල ප්‍ර‍මාණයක් නැත. එහෙත් මම මෙසේ දුකින් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගන්නට නො කියමි. සුඛයෙන් සොම්නසින් ම චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරගන්නට කියමිය” යනුයි.

චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරනු පිණිස කරන්නා වූ ව්‍යායාමය: ශරීරය පෝෂණය කරනු පිණිස, අඹුදරුවන් පෝෂණය කරනු පිණිස, පස්කම් සුව විඳිනු පිණිස, පොහොසත් වනු පිණිස, ප්‍ර‍සිද්ධ වනු පිණිස, ප්‍ර‍ශංසා ලබනු පිණිස කරන්නා වූ ව්‍යායාමයන්ට වඩා සියදහස් ගුණයෙන් සඵල වූ දෙයක් නො වේ නම්, වැඩක් නැතියන් විසින් ම කළයුතු දෙයක් හෝ නිෂ්ඵල දෙයක් හෝ නම්, සියල්ල දත්තා වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ විසින් සත්‍යාවබෝධය පිණිස වීර්‍ය්‍ය කළ යුතු බව, මෙපමණ බර කොට මෙපමණ උසස් කොට නො වදාරන්නාහ. එසේ වදාරන ලද්දේ එය ඒකාන්තයෙන් ම අන් හැම දෙයකට ම වඩා වැඩදායක දෙයක් හෙයිනි. එබැවින් ඒ බුදුන් වහන්සේ ගේ වදන් පිළිගන්නා වූ සියල්ලෝ ම හැකි පමණින්වත් සත්‍යාවබෝධය කරගනු පිණිස උත්සාහ කරත්වා! තවද එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ :-

“යෙ හි කෙචි භික්ඛවෙ! අනුකම්පෙය්‍යාථ. යෙච සොතබ්බං මඤ්ඤෙය්‍යුං, මිත්තා වා අමච්චා වා ඤාති වා සාලොහිතා වා, තෙ වො භික්ඛවෙ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨපෙතබ්බා”

යනුවෙන් මහණෙනි! තෙපි යමෙකුට අනුකම්පා කරන්නාහු ද යම්කිසි මිත්‍රයෝ හෝ අසල්වැසියෝ හෝ නෑයෝ හෝ සහලේනෑයෝ හෝ තොපගේ වචනය අසත් ද තෙපි ඔවුන් චතුරාර්‍ය්‍ය සත්‍යය තත් වූ පරිද්දෙන් අවබෝධ කර ගැන්මෙහි යොදවව්, පිහිටවව්” යි වදාළ සේක. බුදුරජාණන් වහන්සේ විසින් එසේ වදාළ බැවින් තමා චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට උත්සාහ කිරීමෙන් පමණක් නො නැවතී තමාගේ හිතවතුන් ද එහි යොදවත්වා. චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කිරීමෙහි ඇති වටිනාකම නොදැන පස්කම් සැප සෙවීමෙහි යෙදී සිටින පිරිස ම ලෝකයෙහි ඉතා බොහෝ ය. චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමෙහි ඇති ප්‍රයෝජනය ඔවුනට වටහා ඔවුන් එහි යෙදවීම ඔවුනට කළ යුතු වටිනාකම පමණ කළ නොහෙන උපකාරයකි.

චතුරාර්‍ය්‍යසත්‍යය කියා දෙන්නා වූ අන්‍යයකුගේ උපකාරය නොමැතිව ස්වශක්තියෙන් ම එය දත හැකි වන්නේ කල්ප බොහෝ ගණනක් මුළුල්ලෙහි පුරන ලද පාරමිතා ඇති ලොව්තුරා බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ට පමණකි. උන්වහන්සේලා ගෙන් අන්‍ය වූ කවර පණ්ඩිතයකුට වුව ද මේ සත්‍ය සතර ස්වශක්තියෙන් සොයා ගත හැකි නොවේ. එබැවින් බුද්ධ ශූන්‍ය කාලවලදී මේ ධර්මය දැන ගන්නට ලැබෙනු තබා “චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මය” යන වචනය පවා අසන්නට නො ලැබේ. මේ ගැන අසන්නටත් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී ම ය. බුදු සසුන පවත්නා වූ මේ කාලය චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ගැන අසන්නට ලැබෙන දැන ගන්නට ලැබෙන කාලයකි. මෙබඳු උතුම් කාලයක මිනිසත් බවකුත් ලබාගෙන සිට මේ ධර්මය තරමකටවත්දැන ගන්නට උත්සාහ නො කොට, අගනා කාලය සැමකල්හි ම ලැබිය හැකි මිනිසුන් විසින් පමණක් නොව තිරිසනුන් විසින් පවා ලබන පස්කම් සුවය සඳහා ම ඉක්ම යන්නට හැරීම මහත් අලාභයකි. චතුරාර්ය සත්‍යය තත් වූ පරිද්දෙන් අවබෝධ වී මාර්ග ඵලයන්ට පැමිණීම කෙසේ වුවත් මෙබඳු දහම් පොත් පත් කියවීමෙන් ද චතුරාර්‍ය්‍ය සත්‍යය ගැන තරමක අවබෝධයක් ලැබිය හැකිය. එය මතු ප්‍ර‍ත්‍යක්ෂාවබෝධයක් ලබා සසර දුකින් මිදීමට හේතු වන්නේ ය. එබැවින් මෙය සාදරයෙන් කියවත්වා!

මේ කීම සැබෑය. මොහුගේ කීම සැබෑය යනාදීන් ලෝකයෙහි යම් කිසිවක් තත් වූ පරිද්දෙන් ප්‍ර‍කාශ කරන්නා වූ වචන වලට වගන්තිවලට සත්‍යය යි කියනු ලැබේ. “චතුරාර්‍ය්‍ය සත්‍යය” යනුවෙන් යනුවෙන් අදහස් කරනුයේ එසේ යම් කිසිවක තත්ත්වාකාරය ප්‍ර‍කාශ කරන්නා වූ වචන සතරක් හෝ වගන්ති සතරක් නොව පරමාර්ථ වශයෙන් ඇත්තා වූ ස්වභාවධර්ම සතර කොටසකි. චතුරාර්‍ය්‍ය සත්‍යයයි කියන ලද පරමාර්ථ ස්වභාව ධර්ම සතර කොටස අප කෙරෙහි නැති අපෙන් ඉතා ඈත ලෝකයක ඇති දෙයක් නොව අප කෙරෙහි ද ඇත්තා වූ ධර්ම කොටස් සතරකි. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “රොහිතස්ස” නම් දිව්‍ය පුත්‍ර‍යා හට :-

“ඉමස්මිංයෙව ව්‍යාමමත්තෙ කලෙබරෙ සසඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤාපෙමි ලොකසමුදයඤ්ච, ලොකනිරොධඤ්ච, ලොකනිරොධගාමිනිඤ්ච පටිපදං”

යනුවෙන් “සංඥා සහිත වූ, හිත සහිත වූ, බඹයක් පමණ වූ මෙම ශරීරයෙහි ම ලෝකයත් ඇත. ලෝක සමුදායත් ඇත. ලෝක නිරෝධයත් ඇත. ලෝක නිරෝධගාමිනී ප්‍ර‍තිපදාවත් ඇතය” යි වදාරන ලදි. මෙහි ලෝකසමුදයාදි නම් වලින් දක්වන ලදුයේ චතුරාර්‍ය්‍ය සත්‍යය ම ය.

අප සමීපයෙහි ම ඇතිමුත් ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය සොයා ගැනීම අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. ඒ බව තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට උපමාවකින් මෙසේ වදාළ සේක. එක් දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවරට පිඬු සිඟා වඩිනුවෝ, දුනු සිල්පය උගන්නා වූ ලිච්ඡවී කුමාරවරුන් විසින් දුර සිට එකකුදු නො වැරදී යතුරු සිදුරකින් නික්මී යන සේ හී විදිනු දැක විහාරයට පැමිණි කල්හි ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළහ.

එකල්හි බුදුරජාණන් වහන්සේ “ආනන්දය, දුර සිට යතුරු සිදුරකට ඇතුල්වන සේ හී විද යැවීමය, අස් ලොමක් සතට පළා, ඉන් පලුවක් බඹ පන්තිසකින් ඔබ තබා එහි කොණට වැදෙන සේ සතට පලාගත් අස් ලොම් පලුවකින් ම විදීමය යන දෙකින් කවරක් වඩා දුෂ්කර වේදැ යි විචාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි! සතට පලාගත් අස්ලොම් පලුවෙන් අස්ලොම් පලුවට විදීම ම දුෂ්කර වන්නේය” යි සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය, යමෙක් දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ප්‍ර‍තිවේධ කෙරේ නම් එය දුර තිබෙන අස්ලොම් පලුවේ කොණට අස්ලොම් පලුවකින් ම නො වරදවා විදීමට ද වඩා දුෂ්කර දෙයකැ යි වදාළ සේක. මේ උපමාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙහි ඇති දුෂ්කරත්වය දත යුතු.

චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය නමැති පරමාර්ථ ස්වභාව ධරම සතර කොටස පරහට අවබෝධ කරවනු පිණිස බුද්ධාදීන් විසින් ප්‍ර‍කාශ කරන්නා වූ වචනවලට චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාවයයි කියනු ලැබේ. ‘ධර්මය’ යන වචනය නොයෙක් අර්ථ දෙන වචනයකි. සමහර තැනකදී දේශනාවට ද ධර්මය යයි කියනු ලැබේ. එබැවින් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයත් චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාවත් එකක් කොට සිතා ගැනීමෙන් කාරණය අවුල් විය හැකිය. එසේ නොවන්නට චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අනිකක් බවත්, දේශනාව අනිකක් බවත් පළමු කොට ම සිත් හි තබා ගත යුතු. චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය සර්වාකාරයෙන් ම සම්පූර්ණ කොට දේශනා කරතහොත්, එය අප්‍ර‍මාණ වචනවලින් හා ධර්ම විභාග වලින් ද යුක්ත වූ ඉතා දීර්ඝ දේශනාවක් වන්නේය. ඒ බව බුදුරජාණන් වහන්සේ:

“දුක්ඛං අරියසච්චන්ති භික්ඛවෙ! මයා පඤ්ඤත්තං තත්ථ අපරිමාණා වණ්ණා, අපරිමාණා ව්‍යඤ්ජනා, අපරිමාණා සංකාසනා” යනාදිය වදාළ සේක.

ද්විවිධ වූ දේශනාව

උන්වහන්සේ විසින් කරන්නා වූ චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාව සාමාන්‍ය දේශනාව, සාමුක්කංසික දේශනාව යයි දෙපරිදි වේ. එයින් ඒ ඒ ස්ථානවලදී කොටින් කරන ලද චතුරාර්‍ය්‍යසත්‍ය දේශනාවෝ සාමාන්‍ය දේශනාවෝ ය. දැනට තිබෙන පොත්වල අඩංගු වී තිබෙන්නේ ද ඒ සාමාන්‍ය දේශනාවෝ ය.

එකිණෙහි ම නිවන් දැකීමට හේතු සම්පත් ඇති පුද්ගලයකු උන්වහන්සේ වෙත පැමිණි කල්හි උන්වහන්සේ පළමුකොට ඔහුට දාන කථා, ශීල කථාදියෙන් දහම් දෙසා ඔහුගේ සිත පිරිසිදු කොට, කර්මණ්‍ය කොට, අවසානයේ දී විස්තර වශයෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය දේශනා කරන සේක. ඒ දේශනාව අසන කල්හි එයට අනුව සිත යවන්නා වූ හේතු සම්පත් ඇති පුද්ගලයන්ගෙන් ඇතමෙක් සෝවාන් වෙති, ඇතමෙක් සකෘදාගාමී වෙති, ඇතමෙක් අනාගාමී වෙති, ඇතමෙක් රහත් වෙති. චතුරාර්‍ය්‍ය සත්‍යය දක්වා කරන ඒ දේශනාවට “සාමුක්කංසික දේශනාව” යයි කියනු ලැබේ.

බුද්ධ දේශනා අතුරෙන් සියල්ලට ම උසස් දේශනාව සාමුක්කංසික දේශනාව ය. එය වචන ලක්ෂ ගණනක් ඇති දීර්ඝ දේශනාවකි. එක් වරකදී එපමණ වචන රාශියක් බුදුන් වහන්සේට මුත් අන් කිසිවකු විසින් නො කිය හැකිය. බුදුරජාණන් වහන්සේ ආශ්චර්‍ය්‍ය පුද්ගලයෙකි. උන්වහන්සේගේ දේශනාව ද ආශ්චර්‍ය්‍යය. උන්වහන්සේට ඉක්මණින් කථා කළ හැකි බැවින් ස්වභාවයෙන් ම උන්වහන්සේ කරන එක් එක් ධර්ම දේශනාවක් ඉතා දිගය. උන්වහන්සේ විසින් දන් වළඳා අවසානයෙහි දන් දුන් දායකයන්ට වදාරන අනුමෝදනාව මඳක් වැඩිකොට දේශනා කරන කල්හි දීඝ නිකාය, මජ්ඣිම නිකාය පමණ වේ. සවස් කාලයේ විහාරයට ධර්ම ශ්‍ර‍වණයට පැමිණෙන පිරිසට දේශනා කරන ධර්මය සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය යන නිකාය දෙක පමණ ඇත්තේ ය. දීර්ඝ දේශනාවක් වූ සාමුක්කංසික දේශනාව අසන පුද්ගලයන් හට එයින් සත්‍යාවබෝධය වන නමුත් ඒ දේශනාව තථාගතයන් වහන්සේ දෙසූ පරිද්දෙන් නැවත ප්‍ර‍කාශ කළ හැකි වන පරිදි කිසි ම කෙනකුට පාඩම් නො වන්නේ ය. එබැවින් ඒ ධර්ම දේශනාව අද තිබෙන කිසි ම පොතකට අඩංගු වී නැත. ඒ දේශනාව කරන්නේ තථාගතයන් වහන්සේ පමණකි. සාමාන්‍ය මනුෂ්‍යයකු එක වචනයක් කියන කාලයේ දී වචන බොහෝ ගණනක් පවසමින් පර්වතයකින් ගලා යන ගංගාවක් මෙන් ඒ දේශනාව පවත්වන නමුත් ඒ ඉක්මන්කම නිසා අසන්නවුන්ට දේශනාව නොවැටහී යන්නේ ද නොවේ. ඒ දේශනාව වචනයකුදු නො හැර අසන්නවුන්ගේ සිතට කා වදින්නේ ය. එය ද මේ දේශනාවෙහි ඇත්තා වූ එක්තරා ආශ්චර්‍ය්‍යයකි.

චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධය කිරීමට තිබෙන ඉතා ම පහසු ක්‍ර‍මය බුදු කෙනකුන් විසින් දෙසන ඒ සාමුක්කංසික දේශනාව ඇසීම ය. බෞද්ධයන්ට අනාගතයෙහි පහළවන යම්කිසි බුදු කෙනකුන් දැක උන්වහන්සේගේ බණ අසා නිවන් දක්නට ප්‍රාර්ථනා කිරීමට පුරුදු වී තිබෙන්නේ ද ඒ නිසා ය.

වර්තමාන බෞද්ධයන්ට මෙහි ලා කියයුතු වැදගත් කරුණක් තිබේ. ආර්ය සත්‍ය කථාවට ඇතුළත් නුවූවත් එය ද මෙහි සඳහන් කරනු ලැබේ.

වර්තමාන බෞද්ධයෝ විහාර දාගැබ් බෝකොටු සංඝාවාස ළිං පොකුණු ආදිය කරවා බණ පින්කම් පිරිත් පින්කම් කොට දන් දී සිල් රැක ඒවායේ අනුහසින් පමණක් මතු බුදුවන මෛත්‍රෙය බුදුරජුන් දැක උන්වහන්සේගෙන් බණ අසා නිවන් දක්නට බලාපොරොත්තු වෙති. ඒවායින් ඔවුනට සමහර විට මෛත්‍රෙය බුදුරජුන් දක්නට නම් පුළුවන් විය හැකිය. ඒ බුදු රජුන්ගෙන් බණ අසන්නට ද ලැබිය හැකි ය. එහෙත් නිවන් දැකීමට නම් ඒ පින් ප්‍ර‍මාණ නො වන්නේ ය. බුදු කෙනකුන් දුටු පමණින් බුදු කෙනකුන්ගෙන් දහම් ඇසූ පමණින් සෑම සත්ත්වයකුට ම නිවන් දක්නට හැකිවන්නේ නො වේ. බුදු වරයන් දෙසන ධර්මය අසා බොහෝ සත්ත්වයන් එකෙණෙහි ම සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණ නිවන් දක්නට බව නම් ඇත්තකි. එහෙත් පිපෙන තරමට නො වැඩුණු නෙළුම් වල හිරු රැස් පහස ලදත් නො පිපෙන්නාක් මෙන් මාර්ග ඵල ලැබීමට හේතු සම්පත් නැත්තෝ බුදුරජුන් ගෙන් දහම් ඇසුවාහු ද මගපල ලබා නිවන් නො දකිති. බුදු රජුන් ගෙන් දහම් ඇසූ කල්හි මාර්ග ඵල ලැබීමට පාරමිතා සම්පූර්ණ වී තිබිය යුතුය.

ගසෙක තිබෙන මිහිරි ඵලයක රසය බුදිනු කැමති පක්ෂියාට එය බුදීමට නම් ගසට යාමට පියාපත් ද, ඵලයට කොටා සිදුරු කර ගැනීමට තුඩ ද තිබිය යුතුය. පියාපත්ය, තුඩය යන දෙකින් එකක් නො මැතිව එකකින් පමණක් පක්ෂියාට කිසි කලෙක ඵල රසය වැළදිය නොහේ. එපරිද්දෙන් ම මාර්ග ඵල නිර්වාණ සංඛ්‍යාත අමෘත ඵල රසය වළඳනු කැමති පුද්ගලයන්ට ද ඒ අමෘත රසය වැළඳිය හැකි වීමට අමෘත ඵල දරණ රුකක් බඳු වූ බුදුකෙනකුන් වෙත යා හැකි වීමට පියාපත් බඳු වූ පාරමිතා කොටසක් තිබිය යුතුය, අමෘත ඵල රසය වැළඳීමට පක්ෂියාගේ තුඩ බඳු වූ පාරමිතා කොටසක් ද තිබිය යුතුය.

මෙකල බෞද්ධයන් විසින් කරන දන්දීම් ආදී පින් මරණින් මතු දුර්ගතියට නො පමුණුවා සුගතියෙහි උපදවන්නා වූ පින් වෙති. එබඳු පින් ද නැතිව පවින් ම භරිතව සිට මරණින් මතු නරකයෙහි උපනහොත් නරකයෙහි සිටින්නා වූ ඒ සත්ත්වයාට කොපමණ බුදුවරයන් බුදුවුවත් ඒ බුදුවරයන් උපන් බව දැනගන්නටත් නො ලැබෙන්නේ ය. සුගතියෙහි උපදවන පින් කොට සුගතියෙහි ඉපද සිටියහොත් ඒ පුද්ගලයාට ලෝකයෙහි බුදු කෙනකුන් පහළ වුවහොත් ඒ බුදුන් දැකිය හැකිය. උන් වහන්සේගෙන් දහම් ඇසිය හැකිය. එබැවින් දන්දීම් ආදි පින්කම් බුදුන් දක්නට උපකාර වන කරුණු වෙති. ඒවා ඵල රසය වළඳනු කැමති පක්ෂියාගේ පියාපත් බඳුය. පියාපත් බඳු පාරමිතා කොටස පමණක් සම්පූර්ණ කොට පක්ෂියාගේ තුඩ බඳු වූ පාරමිතා කොටස සම්පූර්ණ නැති පුද්ගලයන්ට බුදුන් දක්නට දහම් අසන්නට ලදත්, ධර්මය අවබෝධ කොට මාර්ගඵල නිර්වාණයන්ට පැමිණිය හැකි නොවේ. කුමක් හෙයින් ද? බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නා වූ පරමාර්ථ ධර්ම ප්‍ර‍තිසංයුක්ත වූ චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මය අති සූක්ෂ්ම වූ අති ගම්භීර වූ ධර්මයකි. එය අවබෝධ වන්නේ පෙර ජාති වලදී ස්කන්ධාදි ධර්ම විභාගයන් උගෙන ප්‍ර‍ඥාව දියුණු කරගෙන සිටියා වූ සත්ත්වයන්ට පමණකි. ස්කන්ධාදි ධර්ම විභාගයන් උගෙන දියුණු කරගත් නුවණක් නැත්තා වූ පුද්ගලයන්ට එය අවබෝධ නො වේ. එබැවින් ඔවුහු ඒ ධර්මය ඇසුවත් මාර්ගයකට ඵලයකට නො පැමිණෙති. බුදුරජුන් වෙත පැමිණියා වූ ඔවුහු ඵල දරන රුකට පැමිණි තුඩ නැති පක්ෂීන් බඳු වෙති. බුදුරජුන් වෙත පැමිණ දහම් ඇසුවත් සමහරුන් මාර්ග ඵල නො ලබන්නේ ඔවුන් පෙර ජාතිවලදී ස්කන්ධාදි ධර්ම විභාග උගෙන ප්‍ර‍ඥාව දියුණු කරගෙන නො සිටි බැවිනි.

බුදුරජුන් සමයෙහි විසූ “කොසොල් රජ, මල්ලිකා දේවි” ආදීහු බුදුරජුන් දකිනු ලැබීමට දහම් අසනු ලැබීමට හේතුවන පින් පමණක් ඇතිව සිටියෝය. බුදුරජාණන් වහන්සේ වැඩි කාලයක් වැඩ සිටියේ කොසොල් රජුගේ අණසක පවත්නා වූ රටෙහි ම ය. කොසොල් රජු ද නිතර බුදුරජුන් කරා එළඹෙන මහා දායකයෙකි. එතුමා බුදුරජුන්ට විහාරයක් ද කරවූයේ ය. නිතර නිතර ධර්මය ද ඇසුවේය. බුදුරජාණන් වහන්සේ විසින් එතුමාට විශේෂයෙන් දේශනා කළ ධර්මය ද බොහෝ වෙති. නමුත් එතුමාට මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්ම රසය ලබා ගන්නට නොහැකි වූයේය. එතුමා පෘථග්ජන කාලක්‍රියාවෙන් ම කාලක්‍රියා කෙළේය.

“සුනක්ඛත්ත” නමැති භික්ෂුව ද එබඳු ම කෙනෙකි. සුනක්ඛත්ත භික්ෂුව බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් උන් වහන්සේගේ සමීපයෙහි ම කලක් හැසුරුණේය. එහෙත් පෙර ජාතිවල දී පිරූ ප්‍ර‍ඥා පාරමිතාව නො තිබුණ බැවින් ඒ භික්ෂුව සිය ගණන් වාරවලදී බුදුරජුන්ගෙන් බණ අසා ද ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගත නො හැකිව පෘථග්ජන කාලක්‍රියා වෙන් ම කාලක්‍රියා කෙළේය. එබැවින් මතු බුදු කෙනකුන් දැන නිවන් දක්නට බලාපොරොත්තු වන්නන් විසින් දන්දීම් සිල් රැකීම්වලින් පමණක් නිවන් යන්නට බලාපොරොත්තු නොවී ආර්ය ප්‍ර‍ඥාව ද දියුණු කර ගත යුතුය. ධර්මාවබෝධයට වුවමනා වන ප්‍ර‍ඥාව දියුණු කර ගත හැකි වන්නේ ස්කන්ධ පඤ්චකය ය, ආයතන දොළොසය, ධාතු අටළොසය, ඉන්ද්‍රිය දෙවිස්සය, චතුරාර්‍ය්‍ය සත්‍යය ය, පටිච්චසමුප්පාදය ය යන ධර්මයන් උගෙනීමෙනි. මේ ධර්මයන් සම්බන්ධ දැනුම ඇතිවීමට අභිධර්මාර්ථ සංග්‍ර‍හව[1] උගෙනීම ඉතා යෙහෙකි. ආගම ධර්මය නොදත් ඇතැම්හු ඔවුන්ගේ නො දත්කම ම නිසාදෝ “ඔය අභිධර්ම ඕනෑ නැත. ප්‍ර‍තිපත්තිය ආරක්ෂා කරන සැටි දැන ගෙන ප්‍ර‍තිපත්තිය රැකගෙන සිටියා ම හොඳට ම ඇතය” යි කියා ලෝකයා මුළා කරති. ඔවුන්ගේ කීම්වලට නො රැවටෙත්වා!

බුදුරජුන් කල විසූ ඒරකපත්ත නාගරාජයාය, කපිල මත්ස්‍යයාය යන දෙදෙන දානාදි පින්කම් නො කොට ප්‍ර‍ඥාව පමණක් දියුණු කළ දෙදෙනෙකි. ඒ දෙදෙන කාශ්‍යප බුදුන්ගේ ශාසනයෙහි ධර්මයෙහි පරතෙරට පැමිණ සිටි දෙදෙනෙකි. දානාදි පින් නැතිකමින් ඔවුහු දුර්ගතියෙහි සිටි බැවින් සර්වඥ ශාසනයෙන් පිහිටක් නො ලැබූහ. ධර්මය අවබෝධ කළ හැකි වනුයේ ත්‍රිහේතුක ප්‍ර‍තිසන්ධියක් ඇතිව සුගතියෙහි උපනුවන්ට පමණකි. කරුණු මෙසේ හෙයින් මතු පහළ වන බුදු කෙනකුන් දැක නිවන් ලබන්නට බලාපොරොත්තු වන හැම දෙනා විසින් ම කියන ලද දෙපක්ෂයට ම අයිති පාරමිතා සම්පූර්ණ කර ගත යුතුය.

පක්ෂීන්ට පියාපත් මෙන් ද, මිනිසුන්ට පාදයන් මෙන් ද බුදුවරයන් වහන්සේලා සමීපයට - නිර්වාණය දෙසට ගමන් කිරීමට උපකාර වන පුණ්‍යකර්මයන්ට, යාමට උපකාර වන අර්ථයෙන් චරණ යයි කියනු ලැබේ. ස්කන්ධාදි ධර්ම විෂයෙහි පවත්නා වූ ආර්යඥානයට විද්‍යා යයි කියනු ලැබේ. දශපාරමිතාවන් අතුරෙන් ප්‍ර‍ඥා පාරමිතාව හැර ඉතිරි පාරමිතාවෝ චරණ පක්ෂයට ද ප්‍ර‍ඥා පාරමිතාව විද්‍යා පක්ෂයට ද ඇතුළත් වෙත්. ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත අමෘත රසය වැළඳීමට විද්‍යා-චරණ දෙක ම සම්පූර්ණ කළ යුතු බැවින් පූර්වාචාර්යවරයන් විසින් :-

“චරණං පාදපක්ඛං ච - විජ්ජං තුණ්ඩ සමං සමං

සම්පූරෙත්වාන පක්ඛෙය්‍යුං - භුඤ්ජිතුං අමතං රසං”

කියන ලද්දේ ය.

“පා හා පියාපත් වැනි චරණ පාක්ෂික පාරමිතාවන් ද, තුඩ හා සමාන වූ විද්‍යාව ද මෙසේ සම්පූර්ණ කොට නිර්වාණ සංඛ්‍යාත අමෘත ඵල රසය වැළඳීමට යන්නාහුය” යනු එහි තේරුමයි.

පරමාර්ථ ප්‍ර‍ඥප්ති භේදය

චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය යනු පරමාර්ථ ධර්ම කොටස් සතරක් බව යට කියන ලදි. පරමාර්ථ ස්වභාව ධර්ම වූ ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය පහසුවෙන් තේරුම් ගැනීමට පරමාර්ථය පළමු කොට දැන සිටිය යුතුය. එබැවින් පරමාර්ථ ධර්ම තත්ත්වය ද දක්වනු ලැබේ.

ලෝකයෙහි සත්‍ය වශයෙන් නැතිව, අන්‍ය වස්තූන්ගේ ක්‍රියා - පිහිටි ආකාරාදිය නිසා ඇති සේ පෙනෙන ඇති සේ වැටහෙන වස්තු කොටසක් ඇත්තේ ය. එසේ සත්‍ය වශයෙන් නැත්තා වූ ඒ දේවලට ප්‍ර‍ඥප්තිහු යයි කියනු ලැබේ. සත්‍ය වශයෙන් ඇති දේවලට පරමාර්ථයෝ යයි කියනු ලැබේ.

අඳුරෙහි සිට ගිනි පෙනෙල්ලක් වේගයෙන් කර කැවුවහොත් ගිනි වළල්ලක් පෙනේ. ගිනි පෙනෙල්ලේ ගමන් වේගය නිසා එසේ පෙනෙන නමුත් සත්‍ය වශයෙන් ගිනි පෙනෙල්ල හැර ගිනි වළල්ලක් එහි නැති බව කාහට වුවත් පහසුවෙන් වැටහෙනවා ඇත. උදය - සවස - දවාල - රාත්‍රිය - දවස - මාසය යන මේවා ද සූර්යයාගේ ගමන නිසා ඇති සේ වැටහෙන් ඒවා. සත්‍ය වශයෙන් උදය කියා හෝ සවස කියා හෝ දවාල කියා හෝ රාත්‍රිය කියා හෝ දවසය කියා හෝ මාසය කියා හෝ කිසිවක් නැත. සූර්යයාගේ ගමන නිසා ඇති සේ සලකනවා මිස කතා කරනවා මිස උදය සවස යනාදියේ කිසිවක් නැති බව නුවණින් විමසන්නකුට වැඩි අමාරුවක් නැතිව තේරුම් ගත හැකිය. ගිනි වළල්ලය, උදය - සවසාදි කාලයෝය යන ආදිය අන්‍ය වස්තූන්ගේ ක්‍රියා නිසා ඇති සේ පෙනෙන ඇති සේ වැටහෙන දේවල් ය.

සත්‍ය වශයෙන් නැතිව අන්‍ය වස්තූන්ගේ පිහිටි ආකාරය නිසා ඇති සේ පෙනෙන ඇති සේ වැටහෙන දේවල් ඉතා බොහෝ ය. කුලුන ඉන් එකකි. කුලුනය යනු උස්ව පෙනෙන එක් වස්තුවකි. එය බෙදා බැලුවහොත් ගල් හා බදාම එහි ඇති බව දත හැකිය. එහි තිබෙන ගල් හා බදාම වෙන් කොට දෙතැනක තැබුවහොත් බදාම ගොඩක් හා ගල් ගොඩක් පෙනෙන්නට වන්නේය. කුලුන නො පෙනී යන්නේය. එසේ නො පෙනී යාමට හේතුව ගල් හා බදාම හැර කුලුනක් නොමැති බවය. ඒ ගල් හා බදාම නැවතත් ඒ ආකාරයෙන් උස්වන සේ රැස් කළහොත් නැවතත් කුළුන පෙනෙන්නට වන්නේය. වෙන් කළහොත් නො පෙනී යන්නේය.

ගෙය ද ඒකාන්තයෙන් නොමැතිව අන්‍ය වස්තු සම්භාරයක පිහිටි ආකාරය නිසා ඇති සේ පෙනෙන දෙයකි. එහි උළු - ගල් - ලී - බදාම ආදිය වෙන් කර තැබුවහොත් ගෙය නොපෙනී යන්නේය. මෙසේ කොටස් කළ කල්හි නොපෙනී යන්නා වූ ද ඒ ඒ ආකාරයෙන් වස්තු රැස්කළ කල්හි ඒ වස්තූන් නිසා ඇති සේ පෙනෙන්නට වන්නා වූ ද යම් යම් දෙයක් ඇතහොත් ඒ සියල්ල ම සත්‍ය වශයෙන් නැති, අන්‍ය වස්තූන් නිසා ඇති සේ පෙනෙන්නා වූ දේවල් ය. සාමාන්‍ය ලෝකයා විසින් ඇත යයි සලකන, දෙවි - මිනිස් - ඇත් - අස් - ගව ආදි පණ ඇති වස්තූහු ය, ඇඳ - පුටු - මේස - පිඟන් - කෝප්ප සැලි - රෙදි ගස් - ගල් ආදි පණ නැති වස්තූහුය යන මේ සියල්ල ම යට කී කුලුන මෙන් ද ගෙය මෙන් ද බෙදා බැලුවහොත් නො පෙනී යන්නා වූ නැති වන්නා වූ දේවල් ම ය. එබැවින් ඒවායින් එකකුදු පරමාර්ථ නො වන බව දත යුතු.

යම් කිසිවක් පරමාර්ථ වශයෙන් ඇති දෙයක් ද නැති දෙයක් ද යන බව සොයා ගැනීමට තිබෙන පහසු ම ක්‍ර‍මය බෙදා හැලීමය. නො බෙදිය හැකි දෙය ලැබෙන තුරු, නුවණට වැටෙන තුරු ඒ ඒ වස්තූන් නැවත නැවත බෙදා බලා ම පරමාර්ථය සොයා ගත යුතුය. නිදර්ශනයක් වශයෙන් එක වස්තුවක් බෙදන ක්‍ර‍මය දක්වනු ලැබේ.

වස්ත්‍ර‍ය සාමාන්‍ය ජනයා විසින් ඇති සේ සලකන එක් දෙයකි. එය පරීක්ෂා කරන කල්හි වස්ත්‍රයේ තිබෙන්නේ කුමක්දැයි විමසනු. එකල්හි දෑතට විහිද ගිය නූල් සමූහයක් එහි ඇති බව පෙනෙනවා ඇත. ඉක්බිති වස්ත්‍ර‍ය නූල්දැ යි කල්පනා කරනු. එකල්හි වස්ත්‍ර‍ය නූල් නොවිය හැකි බවත් නූල් වස්ත්‍ර‍ නො විය හැකි බවත් වැටහෙනවා ඇත. නූල් සමූහය පෙනෙන ආකාරමාත්‍ර‍යක් බවත් වැටහෙනවා ඇත. වස්ත්‍ර‍යක් ඒකාන්තයෙන් නැති බවත්, නූල් පමණක් ඇති බවත් දුටු පසු, එයින් එක නූලක් ගෙන එහි කුමක් තිබේදැයි විමසනු. එකල්හි එහි කුඩා කපු කෙඳි සමූහයක් පෙනෙනවා ඇත. කපු කෙඳි දුටු කල්හි නූලක් ඒකාන්තයෙන් නැති බවත් කපු කෙඳි පමණක් ඇති බවත් නූල කපු කෙඳිවල පෙනෙන ආකාර මාත්‍ර‍යක් බවත් වැටහෙනවා ඇත. ඉක්බිති කෙන්දක් ගෙන එහි කුමක් තිබේදැයි විමසනු. එහි ද ඇසට නො පෙනෙන ඉතා කුඩා වස්තු රැසක් ඇත්තේ ය. ඒවා සොයා ගැනීම පහසු නොවේ. එහි ඇත්තා වූ ඉතා කුඩා කොටස රූප කලාපයයි. ඇසට පෙනෙන තරම් ද්‍ර‍ව්‍යයක් වනුයේ රූප කලාප ලක්ෂ ගණනක් එකට බැඳී සිටි කල්හිය. කපු කෙන්දෙහි ඇති ඉතා ම කුඩා ද්‍ර‍ව්‍ය රූප කලාපයයි. ඒ රූප කලාපය ද, එක් වස්තුවක් නොවේ. එහි ද පෘථිවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, වර්ණය, ගන්ධය, රසය, ඕජාව යයි රූප අටක් ඇත්තේ ය. ඒවායේ තවත් කිසිවක් නැත. එබැවින් ඒවා බෙදිය හැකි නොවේ. ඒවා ඒකාන්තයෙන් ඇත්තා වූ දේවල් වෙති. වස්ත්‍රයෙහි ඇති පරමාර්ථ ධර්මයෝ ඒ පෘථිවි ආදි රූප අටය. මේ වස්තූන් පරීක්ෂා කරන්නා වූ ආකාරයයි. පරමාර්ථ ධර්ම විෂයෙහි කිසිදු උගෙනීමක් නැති කෙනකුට මෙසේ පරීක්ෂා කොට පරමාර්ථය සොයා ගන්නට නුපුළුවන. එහෙත් ඇති සැටියට සැලකෙන නොයෙක් දේ පරමාර්ථ වශයෙන් නැති ඒවා බව කාහට වුවත් වටහා ගත හැකි ය.

පරමාර්ථ ධර්මයන් ගැන කල්පනා කරන්නට විමසන්නට හැකිවීමට පළමුවෙන් පරමාර්ථ ධර්මයන් ගැන සාමාන්‍ය උගෙනීමක් ගුරුවරයකු ඇසුරු කොට කළ යුතුය. අපාය ලෝක - මනුෂ්‍ය ලෝක - දිව්‍යලෝක - බ්‍ර‍හ්මලෝක යන සෑම තන්හි ම ඇත්තා වූ අවිඤ්ඤාණක සවිඤ්ඤාණක සියල්ල ම විමසුවහොත් පරමාර්ථ ධර්ම දෙඅසූවක් ලැබේ. එනම් සිතය චෛතසික දෙපනසය රූප අටවිස්සය, නිවනය යන මොහුය. මේ දෙ අසූව හැර ඒකාන්තයෙන් ඇත්තා වූ කිසිවක් කොතැනකවත් නැත්තේ ය. ලෝකය වී තිබෙන්නේ නිවන හැර ඉතිරි පරමාර්ථ ධර්ම එක් අසූවය. ප්‍ර‍ඥප්තියෙන් වැසී තිබෙන බැවින් ඒ පරමාර්ථ ධර්මයෝ නො පෙනෙන්නාහ. ප්‍ර‍ඥප්තියක් පාසා ම නුවණින් විමස විමසා ප්‍ර‍ඥප්තීන් නුවණින් බිඳ බිඳ බලන කල්හි ඇත යයි කිසි කලෙක නොවැටහුණා වූ පරමාර්ථයෝ වැටහෙන්නට වන්නාහුය.

දෙඅසූ පරමාර්ථ ධර්මය සොයාගත හැකි වන්නේ ද ධර්ම විෂයෙහි ඉතා ගැඹුරට බැසීමෙනි. පරමාර්ථ ධර්ම දෙඅසූව සොයාගත් පමණින් ද චතුරාර්‍ය්‍ය සත්‍යය දැන ගත්තේ නම් නොවේ. එය දැන ගැනීමට පරමාර්ථ ධර්ම විෂයෙහි තවත් ගැඹුරට යා යුතුය.

චතුරාර්‍ය්‍ය සත්‍යය

දුකය, දුක් ලැබීමට කාරණය, සැපය, සැප ලැබිය හැකි ක්‍ර‍මය යන මේ කරුණු සතර මිනිසුනට තබා දෙවියන්ටවත්, තත්ත්වාකාරයෙන් නො දැනෙන රහස් සතරකි. මේ කරුණු සතර දන්නහුදැයි ලෝකයෙන් ඇසුවහොත් වැඩි දෙනකුගෙන් ලැබෙන පිළිතුර නම් දනිමුය යන්නය. එබඳු පිළිතුරක් ලැබෙන්නේ ලෝකයා විසින් මේ කරුණු සතර වැරදි ලෙස අසත්‍ය ලෙස දැන සිටීමෙනි. අසත්‍ය දැනීම යනු නොදැනීම ම ය. ලෝකයෙහි කෙනකු දුකක් කොට කියන කරුණක් කෙනෙක් සැපයකැ යි කියති. කෙනකු සැපයක් කොට කියන දෙයක් කෙනෙක් දුකකැයි කියති. එක් කෙනෙක් ම ද වරෙක සැපයයි කී කරුණක් වරෙක දුකය යි කියති. වරෙක දුක යයි කී කරුණක් වරෙක සැපයයි කියති.

කෙනකු දුකට හේතුවක් කොට කියන කරුණක් කෙනෙක් සැපයට හේතුවකැයි කියති. කෙනකු සැපයට හේතුවකැ යි කියන කරුණක් කෙනෙක් දුට හේතුවකැ යි කියති. එක්කෙනා ම ද වරෙක දුකට හේතු වී යයි කී කරුණු වරෙක සැපයට හේතු වී යයි කියයි. වරෙක සැපයට හේතු වී යයි කියන කරුණක් වරෙක දුකට හේතු වී යයි කියයි. මෙයින් සාමාන්‍ය ලෝකයා විසින් මේ කරුණු සතට අසත්‍යාකාරයෙන් මිස සත්‍ය වශයෙන් දැන ගෙන නැති බව පෙනේ. තථාගතයන් වහන්සේ වනාහි දෙවියන් සහිත ලෝකයා අවුලෙන් අවුලට පත්ව සිටින මේ කරුණු සතර තත්ත්වාකාරයෙන් දැන, බුදුව, දුක් කෙළවර පරම සැපයට පැමිණ වදාළ සේක. සෙස්සන් විසින් වරදවා දැන සිටින අසත්‍ය වශයෙන් දැන සිටින මේ කරුණු සතර, සත්‍ය වශයෙන් දැන වදාළ වූ තථාගතයන් වහන්සේ ඒවා සත්‍ය නාමයෙන් ම වදාළ සේක.

“චත්තාරිමානි භික්ඛවෙ! අරියසච්චානි. කතමානි චත්තාරි? දුක්ඛං අරියසච්චං, දුක්ඛ සමුදයං අරියසච්චං, දුක්ඛ නිරෝධං අරියසච්චං, දුක්ඛ නිරොධ ගාමිනී පටිපදා අරියසච්චං”

මේ තථාගතයන් වහන්සේ විසින් ඒ කරුනු සතර සත්‍ය නාමයෙන් දේශනා කරන ලද ආකාරය යි.

“මහණෙනි, මොහු සතර දෙන ආර්ය්‍ය සත්‍යයෝ ය. කවර සතර දෙනෙක් ද යත්? දුඃඛාර්ය්‍ය සත්‍යය, දුක්ඛ සමුදයාර්ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිණී ප්‍ර‍තිපදාර්ය්‍ය සත්‍යය යන මොහුය” යනු එහි තේරුමයි.

සත්‍ය වනාහි පර්යාය සත්‍යය, නිෂ්පර්යාය සත්‍යය යි දෙවැදෑරුම් වේ. යට, ඒකාන්තයෙන් නැත්තා වූ වස්තූහුය යි කියන ලද දෙවි, මිනිස්, ඇත්, අස්, ගස්වැල්, ගෙවල් ආදි ප්‍ර‍ඥප්තීහු ඒකාන්තයෙන් නැත්තාහු ද ධර්මඥාන විරහිත මහජනයාගේ සිත්වලට මහත්ව ඇති දේවල් සේ වැටහෙන්නේ ය. මහජනයා, විසින් ඒවා ඒකාන්ත වශයෙන් ඇති දේවල් සේ ගෙන කථා කිරීම ද, දෙවියකු මිනිසකු යනාදීන් කරන ඒ කථා එසේ ම පිළිගැනීම ද කරනු ලැබේ. එද මහජනයාගේ වැටහීමේ හැටියට සත්‍යය බැවින් එයට පර්‍ය්‍යාය සත්‍යයයි කියනු ලැබේ. නුවණින් විමසා බලන කල අසත්‍ය වන්නා වූ මේ පර්යාය සත්‍යය ලෞකික මහා ජනයා අයත් සත්‍යය යි.

කෙතෙක් නුවණින් විමසුවත් අසත්‍ය නො වන විමසත් විමසත් ම සත්‍යතාවය වඩ වඩා ප්‍ර‍කට වන්නා වූ තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද ප්‍ර‍කාශ කරන ලද දුඃඛය, දුඃඛ සමුදය, දුඃඛ නිරෝධය, දුඃඛ නිරෝධ ගාමිනී ප්‍ර‍තිපදාව යන සතර ලෞකික මහ ජනයා විසින් නො ව තථාගතයන් වහන්සේ විසින් ම දක්නා ලද්දක් බැවින් තථාගතයන් වහන්සේ අයත් සත්‍යයෝ ය. එබැවින් ඒවාට ආර්‍ය්‍ය සත්‍යයෝය යි කියනු ලැබේ. තථාගතයන් වහන්සේගේ සත්‍යයෝය යනු එහි තේරුම යි. ආර්ය්‍ය යනු තථාගතයන් වහන්සේට නමෙකි.

“සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍ර‍හ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය තථාගතො අරියො, තස්මා අරියසච්චානීති වුච්චන්ති”

දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බ්‍ර‍හ්මයන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ත්ව සමූහය කෙරෙහි තථාගතයන් වහන්සේ ආර්ය්‍ය නම් වූ සේක. එබැවින් උන් වහන්සේ විසින් දක්නා ලද සත්‍යයෝ ආර්ය්‍ය සත්‍යයෝය යි කියනු ලැබෙත්” ය යනු එහි තේරුමයි.

බුද්ධාදි ආර්ය්‍යයන් විසින් අවබෝධ කරන නිසා ද මේවාට ආර්ය්‍ය සත්‍යයෝ යයි කියනු ලැබේ. “අරියා ඉමානි පටිවිච්ඣන්ති තස්මා අරියසච්චානීති වුච්චන්ති” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් ඒ බව වදාරන ලදි.

“ඉමෙසං ඛො භික්ඛවෙ! චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසම්බුද්ධත්තා තථාගතො අරහං සම්මා සම්බුද්ධො අරියොති වුච්චති”

යනුවෙන් “මහණෙනි! මේ සතරක් වූ ආර්‍ය්‍ය සත්‍යයන් තත් වූ පරිද්දෙන් අවබෝධ කළ බැවින් තථාගත වූ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ආර්‍ය්‍යය යි කියනු ලැබේය” යි වදාළ හෙයින් ද මේවා අවබෝධ කිරීමේ ආර්‍ය්‍ය වන බැවින් ද ඒවාට ආර්ය්‍ය සත්‍යයෝය යි කියනු ලැබේ.

“මිනිසෙක් ඇත, දෙවියෙක් ඇත, ස්ත්‍රියක් ඇත, පුරුෂයෙක් ඇත, ගෙයක් ඇත, වස්ත්‍ර‍යක් ඇත” යනාදීන් කියන පර්යාය සත්‍යය, පරමාර්ථ සත්‍යයට පැමිණ අසත්‍ය වන්නේය. පරමාර්ථ සත්‍යය ද කිසි විටක ආර්ය්‍ය සත්‍යයට පැමිණ අසත්‍යය වන්නේය. සම්මුතිය පරමාර්ථ සත්‍යයට පැමිණ අසත්‍ය වන සැටි, යට දැක්වූ පරමාරථ ප්‍ර‍ඥප්ති විස්තරයෙන් දත හැකිය. පරමාර්ථ සත්‍යය අසත්‍ය වන සැටි මෙසේය :- කුශලය සුඛ විපාක දායකය, අකුසලය දුඃඛ විපාක දායක ය යි කී කල්හි කුශලය, කුශල විපාකය, අකුශලය, අකුශල විපාකය යන සතර ම, පරමාර්ථ වශයෙන් ඇති බැවින් ඒ කීම පරමාර්ථ සත්‍යයාගේ වශයෙන් සත්‍යයකි. ආර්ය සත්‍යයට පැමිණි කල්හි කුශලයෙන් ලැබෙන විපාකය හා අකුශලයෙන් ලැබෙන විපාකය ද යන දෙක ම දුක් ම වෙති. සැප නොවෙති. එබැවින් පරමාර්ථ සත්‍යයාගේ වශයෙන් සත්‍ය වූ කුශලය සුඛ විපාක දායකය, යන්න ආර්ය සත්‍යයට පැමිණ අසත්‍ය වන්නේය. මේ පරමාර්ථ සත්‍යයන් සමහර විටක අසත්‍ය වන ආකාරය යි.

ආර්‍ය්‍ය සත්‍යය වනාහි කිසි කලෙක කිසිවකට පැමිණ අසත්‍ය නො වේ. යමක් දුක යයි කියන ලද්දේ නම් එය එසේ ම වෙයි. යමක් දුක් ඉපදීමේ හේතුව යයි කියන ලද්දේ නම් එය ද එසේ ම වෙයි. යමක් සැපයයි කියන ලද්දේ නම් එය ද එසේ ම වේ. යමක් සැපයට පැමිණීමේ මාර්ගයයි කියන ලද ද එය ද එසේ ම වේ. එහෙයින් :

“චත්තාරිමානි භික්ඛවෙ! තථානි හොන්ති අවිතථානි අනඤ්ඤථානි. කතමානි චත්තාරි? ඉදං දුක්ඛන්ති භික්ඛවෙ! තථමෙතං, අවිතථමෙතං අනඤ්ඤථමෙතං, අයං දුක්ඛ සමුදයොති තථමෙතං, අවිතමෙතං, අනඤ්ඤථමෙතං: අයං දුක්ඛ නිරොධොති තථමෙතං, අවිතථමෙතං, අනඤ්ඤථමෙතං, අයං දුක්ඛ නිරොධ ගාමිනී පටිපදාති තථමෙතං, අවිතථමෙතං, අනඤ්ඤථමෙතං” යනු වදාරන ලදි.

“මහණෙනි! මොහු සතර දෙන සැබෑ වෙති. බොරු නොවෙති. අන්‍යාකාරයෙන් නො වෙති. කවර සතර දෙනෙක් ද යත්? මහණෙනි! මෙය දුකය යි මා විසින් යමක් දක්වන ලද ද එය එසේ ම වෙයි. බොරු නොවෙයි. අන්‍යාකාරයකින් නොවෙයි. මෙය දුක ඉපදීමේ හේතුවය යි යමක් දක්වන ලද ද එය එසේ ම වෙයි. බොරු නො වෙයි. අන්‍යාකාරයකින් නොවෙයි. මෙය දුඃඛ නිරෝධය යි යමක් දක්වන ලද ද එය එසේ ම වෙයි. බොරු නො වෙයි. අන්‍යාකාරයකින් නො වෙයි. මෙය දුඃඛ නිරොධගාමිනී ප්‍ර‍තිපදාවයයි යමක් දක්වන ලද ද එය එසේ ම වෙයි, බොරු නොවෙයි. අන්‍යාකාරයකින් නො වේ ය” යනු එහි තේරුම යි.

මෙසේ වදාළ පරිදි ඒ දුඃඛාදි කරුණු සතර එසේ ම වන බැවින් ද කිසි කලෙක කිසිවකට පැමිණ කිසි ලෙසකින් බොරු නොවන බැවින් ද දුඃඛාදි ස්වභාවයෙන් ම අන්‍ය ස්වභාවයකින් නො වන බැවින් ද ඒ සතරට ආර්ය්‍ය සත්‍යයෝය යි කියනු ලැබේ. මේ ක්‍ර‍මයෙන් කියන කල්හි ආර්‍ය්‍ය සත්‍ය යන්නෙහි තේරුම කී පරිද්දෙන් ම වන්නා වූ කොයි ලෙසකින්වත් බොරු නො වන්නා වූ ද අන් ආකාරයකින් නො වන්නා වූ ද සත්‍යය යනුයි.

තථාගතයන් වහන්සේ විසින් දේශිත ඒ ආර්ය්‍ය සත්‍ය සතර අවලංගු කොට අන්‍ය ආර්ය්‍ය සත්‍ය සතරක් දැක්වීමට සමර්ථයෙක් තුන් ලෙව්හි ම නැත්තේ ය.

“දුක්ඛං ඛො භික්ඛු! මයා පඨමං අරිය සච්චං දෙසිතං, තථා නං ධාරෙහි. යො හි කොචි භික්ඛු! සමණො වා බ්‍රාහ්මණො වා එවං වදෙය්‍ය, නෙතං දුක්ඛං පඨමං අරිය සච්චං සමණෙත ගොතමෙන දෙසිතං, අහමෙතං දුක්ඛං පඨමං අරිය සච්චං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛං පඨමං අරියසච්චං පඤ්ඤපෙස්සාමීති නෙතං ඨානං විජ්ජති.”

යනාදීන් තථාගතයන් වහන්සේ ඒ බව දක්වා වදාළ සේක. “මහණ! මා විසින් දුඃඛ ය යි පළමු වන ආර්ය්‍ය සත්‍යය දේශනා කරන ලද්දේ ය. එය එසේ ම සිත්හි තබා ගනුව, ශ්‍ර‍මණ ගෞතමයන් විසින් යම් පළමුවන දුඃඛාර්ය්‍ය සත්‍යයක් දේශනා කරන ලද ද එය පළමුවන දුඃඛාර්ය්‍ය සත්‍යය නො වන්නේය. “මම ඒ දුඃඛාර්‍ය්‍ය සත්‍යය හැර අන්‍ය පළමුවන දුඃඛාර්‍ය්‍ය සත්‍යයක් දක්වන්නෙමි” යි කියා අන් කිසි ශ්‍ර‍මණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ අන්‍ය දුඃඛාර්‍ය්‍ය සත්‍යයක් දැක්විය හැකි වීමට කරුණක් නැත්තේ ය” යනු එහි තේරුම යි. සමුදයාදි ආර්‍ය්‍ය සත්‍යත්‍ර‍ය පිළිබඳව ද මෙසේ ම වදාරා තිබේ. එබැවින් තථාගතයන් වහන්සේ විසින් දේශිත ආර්ය සත්‍යය සතර කිසි ම කෙනකු විසින් කිසි ම ක්‍ර‍මයකින් අසත්‍ය කළ හැකි ඒවා නො වන බව ද දත යුතු.

1. දුක්ඛ සත්‍යය

දේශනා ක්‍ර‍මයන්හි පරතෙරට පැමිණියා වූ තථාගතයන් වහන්සේ එක ම අර්ථය සිය ගණන් දහස් ගණන් ක්‍ර‍මවලින් දේශනා කිරීමෙහි පොහොසත් වූ සේක. යම්කිසි කරුණක් ගැන එක් ආකාරයකින් කරන්නා වූ දේශනාවක් අසා ඒ කාරණය හැම දෙනාට ම අවබෝධ නොවන බැවින් තථාගතයන් වහන්සේ ඒ ඒ තැනැත්තන්ට අවබෝධ වන ක්‍ර‍ම බල බලා එක ම කාරණය නොයෙක් තැන්වල දී නොයෙක් සත්ත්වයන් හට නොයෙක් ක්‍ර‍මවලින් දෙසූ සේක. එබැවින් චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ ව දේශිත - සූත්‍ර‍ ධර්මයෝ බොහෝ වෙති. ඒ සූත්‍ර‍යන්හි නොයෙක් ක්‍ර‍ම වලින් චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍ර‍කාශ කර තිබේ. ඉන් එක් සූත්‍ර‍යක දුඃඛසත්‍යය දේශනා කර තිබෙන සැටි මෙසේය.

“කතමඤ්ච භික්ඛවෙ! දුක්ඛං අරිය සච්චං? පඤ්චු-පාදානක්ඛන්ධාතිස්ස වචනීයං, සෙය්‍යථිදං? රූපුපාදනක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤඤුපාදානක්ඛන්ධො, සංඛාරුපාදානක්-ඛන්ධො, විඤ්ඤාණුපාදනක්ඛන්ධො ඉදං වුච්චති භික්ඛවෙ? දුක්ඛං අරියසච්චං”

මෙහි තේරුම මෙසේය :-

“මහණෙනි! දුඃඛාර්ය්‍ය සත්‍යය කවරේද? මෙසේ අසතහොත් එයට පිළිතුරු වශයෙන් පඤ්චෝපාදානස්කන්ධයෝයයි කිය යුතු වන්නේ ය. ඔවුහු කවරහුද? රූපෝපාදානස්කන්ධය, වේදනෝපාදානස්කන්ධය, සංඥෝපාදානස්කන්ධය, සංස්කාරෝපාදානස්කන්ධය, විඥානෝපා-දානස්කන්ධය යන මොහුය. මහණෙනි, මෙය දුඃඛාර්ය්‍ය සත්‍යයි කියනු ලැබේ.”

දුඃඛාර්ය්‍ය සත්‍යය යනු පඤ්චෝපාදානස්කන්ධය යි මේ දේශනාවෙන් දක්වන ලදි. දුඃඛාර්ය්‍ය සත්‍යය යනු කුමක්දැයි ප්‍ර‍ශ්න කරත හොත් උපාදානස්කන්ධ පස දුක්ඛාර්ය්‍ය සත්‍යය යි කිය යුතුය. උපාදානස්කන්ධයෝය යනු උපාදානයන්ට විෂය වන ස්කන්ධයෝ ම ය. උපාදානස්කන්ධ, ස්කන්ධ යන දෙකින් ස්කන්ධ යන වචනය බෞද්ධයන්ට වඩා පුරුදු වචනය යි. එබැවින් මෙය කියවන්නන්ට පහසුවනු සඳහා පඤ්චෝපාදානස්කන්ධය වෙනුවට පඤ්චස්කන්ධය දක්වනු ලැබේ. පඤ්චස්කන්ධය දතහොත් පඤ්චෝපාදානස්කන්ධය ද දත්තේ වේ.

පඤ්චස්කන්ධය යනු :-

රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥස්කන්ධය, සංස්කාර-ස්කන්ධය, විඥානස්කන්ධය යන මොවුහුය.

රූපස්කන්ධය

සෑම කල්හි ම එකසේ පැවැත්මක් නැතිවැ ශීතෝෂ්ණාදිය හේතු කොට නැවත තිබූ ආකාරයෙන් අනෙක් ආකාරයකට හෝ අභාවයකට පැමිණෙන්නා වූ ඖදාරික වූ ධාතු සමූහයට රූපස්කන්ධය යි කියනු ලැබේ. රූප සමූහය යනු එහි තේරුමයි. රූපය ය, රූපස්කන්ධය ය යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත. රූපය හෙවත් රූපස්කන්ධය කුමක් ද යන බව දක්වනු පිණිස,

“කතමඤ්ච භික්ඛවෙ රූපං? චත්තාරෝ මහා භූතා චතුන්නඤ්ච මහා භූතානං උපාදාය රූපං, ඉදං වුච්චති භික්ඛවෙ රූපං” යනු වදාරන ලදි.

මහණෙනි! රූපය නම් කවරේද යත්? සතර මහා භූතයෝ ය, සතර මහා භූතයන් නිසා හට ගන්නා වූ රූපයෝය යන මේ සියල්ල රූප නම් වන්නේය” යනු එහි තේරුමයි.

පෘථිවි වෘක්ෂ පර්වත ගංගා සමුද්‍රාදි වශයෙන් මහත් මහත්ව පහළවන්නා වූ රූපයෝ මහාභූත නම් වෙති. ඒ මහාභූතයන් නිසා හටගන්නා වූ මහාභූතයන් හා බැඳී පවත්නා වූ තවත් රූප සූවිස්සෙකි. ඒවාට උපාදාය රූපයෝය යි කියනු ලැබේ. මහාභූත රූප සතරය, උපාදාය රූප සූවිස්සය යි රූප විසි අටෙකි. ඒ රූප විසිඅට රූපස්කන්ධය යි.

මහාභූත රූප සතර

  1. පෘථිවි ධාතුවය,
  2. ආපෝ ධාතුවය,
  3. තේජෝ ධාතුවය,
  4. වායෝ ධාතුවය

යි මහාභූත රූප සතරෙකි.

සත්ත්ව ශරීරයන්හි හා පෘථිවි වෘක්ෂ ලතාදි බාහිර වස්තූන්හි ද ඇත්තා වූ තද ගතිය - රළු ගතිය පෘථිවි ධාතුව ය. වඩා තද දෙයක් අපේක්ෂා කොට කතා කරන කල්හි අඩු වූ තද ගතියට මෘදු බවය - මොලොක් බවය යි කියනු ලැබේ. එබැවින් තද බවය - මෘදු බවය යන දෙකින් ම කියවෙන්නේ පෘථිවි ධාතුව ම බව දත යුතු.

සත්ත්ව ශරීරයන්හි හා බාහිර වස්තූන්හි ඇත්තා වූ තෙත් ගතිය ඇලෙන ගතිය ආපෝ ධාතුවයි. සිසිල් ගතිය හා උණුසුම් ගතිය තේජෝ ධාතුව ය. පුම්බවන ගතිය වායෝ ධාතුව ය.

ලෝකයෙහි යම්කිසි වස්තුවක් වේ නම් ඒ සියල්ල ම ඇති වී තිබෙන්නේ ද, මේ මහා ධාතු සතර පවත්නේ ද එකක් අනිකට උපකාර වීමෙනි. ඉතිරි ධාතු තුනෙන් වෙන්ව එක් ධාතුවකට පවත්නට නුපුළුවන. සෑම වස්තුවක ම මේ ධාතු සතර එක පමණට ඇත්තේ ද නො වේ. කෙස්-ලොම්-නිය-දත්-සම්-මස් ආදී ශාරීරික වස්තූන්හි ද, ගස්-ගල්-පස් ආදී බාහිර වස්තූන්හි ද, පෘථිවි ධාතුව අධිකව පවතින්නේය. ජලයෙහි ද, තෙල් වර්ගවල ද, ලහටු වර්ගවල ද, ආපෝ ධාතුව අධිකව පවත්නේය. ගින්නෙහි ද, ගිනිරැස්, හිරුරැස්, සඳරැස් ආදි ආලෝකයන්හි ද තේජෝ ධාතුව අධිකව පවත්නේය. සුළගෙහි ද, දුමෙහි ද වායෝ ධාතුව අධිකව පවත්නේය.

මේ මහාභූත ධාතු සතර සුදුසු පරිදි පවත්නා තුරු ලෝකය පවත්නේ ය. ඒ ඒ ධාතූන්ගේ අඩු වැඩි වීමෙන් ලෝකය නස්නේය. මනුෂ්‍යයාගේ ශරීරයෙහි පෘථිවි ධාතුව අධික වුවහොත් උත්සන්න වුවහොත් ශරීරය දරදඬු වන්නේ ය. පෘථිවි ධාතුව අධිකව ආපෝ ධාතුව හීන වුවහොත් ශරීරය ධූලි බවට පැමිණ විසිර යන්නේය. පෘථිවි ධාතුව හීන වී ආපෝ ධාතුව උත්සන්න වුවහොත් ශරීරය දියවී යන්නේය. තේජෝ ධාතුව අධික වුවහොත් ඉදිමෙන්නේය. කිනම් වස්තුවක වුව ද යම්කිසි එක් ධාතුවක් සම්පූර්ණයෙන් ම නැති වුවහොත් ඉතිරි ධාතු තුන ද නැති වී ඒ වස්තුව අතුරුදහන් වන්නේ ය.

උපාදාය රූප සූවිස්ස

ප්‍ර‍සාද රූප

චක්ෂුඃප්‍ර‍සාදය, ශෝත්‍ර‍ප්‍ර‍සාදය, ඝ්‍රාණප්‍ර‍සාදය, ජිහ්වාප්‍ර‍සාදය, කායප්‍ර‍සාදය යි ප්‍ර‍සාද පසෙකි.

චක්ෂුඃ ප්‍ර‍සාදය

ඇසෙහි කළු ඉංගිරියාව මැද ඇතුළෙහි මුං ඇටයක පමණ වූ හෝ උකුණු හිසක් පමණ වූ හෝ තට්ටු සතෙක් ඇති කුඩා ගුළියක් ඇත්තේ ය. පුළුන් පිඩක තැවරී තිබෙන තෙලක් මෙන් ඒ ගුළියෙහි ඇතුළත පිටත සැම තැන ම පැතිරී පවත්නා වූ එක්තරා ඔපයක් ඇත්තේය. කැඩපතක් ඉදිරියෙහි තිබෙන සියළු වස්තූන්ගේ ඡායා ඒ සැටියට ම කැඩපත තුළ පහළ වන්නාක් මෙන්, ඇස ඉදිරිපිට තිබෙන සියල්ලෙහි ඡායාවෝ, ඒ කුඩා ගුළියෙහි ඇති ඔපයෙහි ම පහළ වෙති. ගිනිපෙට්ටියත් ගිනිකූරත් එකට ඇතිල්ලුන කල්හි ගින්නක් හට ගන්නාක් මෙන් ඇසෙහි වූ ඔපය තුළ පහළ වූ ඡායා දැනෙන්නා වූ සිතක් පහළ වේ. එයට පෙනීමය යි කියනු ලැබේ. පෙනීමය යි කියනු ලබන ඒ රූප දක්නා සිතට ආධාර වන්නා වූ ඇසෙහි වූ ඒ ඔපයට චක්ෂුඃප්‍ර‍සාදය යි කියනු ලැබේ. ප්‍ර‍සාදය යන වචනයෙහි තේරුම ඔපය යනුයි.

ශෝත්‍ර‍ ප්‍ර‍සාදය

කන ඇතුළත දුඹුරු පැහැති සියුම් ලොම් ඇති මුද්දක් වැනි ස්ථානයක, ශබ්දයන්ගේ ඡායා ඇතුල් වී පහළ වන්නා වූ එක්තරා ඔපයක් ඇත්තේ ය. ඒ ඔපය තුළ සමීපයෙහි ඇති වූ ශබ්දයන්ගේ ඡායා ද පහළ වෙති. ඡායා පහළ වූ කල්හි චක්ෂුඃප්‍ර‍සාදයෙහි මෙන් ම ඒ ශබ්ද ඡායා දැන ගන්නා සිත එහි පහළ වේ. එයට ඇසීම යයි කියනු ලැබේ. ශබ්දය දැන ගන්නා වූ හෙවත් අසන්නා වූ සිතට ආධාර වන කනෙහි වූ ඒ ඔපයට “ශෝත්‍ර‍ ප්‍ර‍සාදය” යි කියනු ලැබේ.

ඝ්‍රාණ ප්‍ර‍සාදය

නැහැය ඇතුළත එළු කුරයක් බඳු ස්ථානයක, සුවඳ දුගඳ දෙක කාවැදීමට යෝග්‍ය වූ ඔපයක් ඇත්තේ ය. සුවඳ-දුගඳ දෙක එයට ප්‍ර‍විෂ්ට වූ කල්හි ඒවා හැඳින ගන්නා වූ සිත එහි උපදී. එයට ආඝ්‍රාණය කිරීමය යි කියනු ලැබේ. ඒ ගන්ධය දැනගන්නා වූ සිත ඉපදීමට ස්ථාන වූ නැහැයෙහි වූ ඔපය ඝ්‍රාණ ප්‍ර‍සාද නමි.

ජිහ්වා ප්‍ර‍සාදය

දිවෙහි නෙලුම් මල් පෙත්තක අග වැනි සටහන් ඇත්තා වූ ස්ථානයක මධුර තික්තාදි රසයන් කාවැදෙන්නා වූ ඔපයක් ඇත්තේය. රසයන් ඒ ස්ථානයක පැමිණි කල්හා රස දැනෙන්නා වූ සිත එහි පහළ වේ. ඒ සිතට ආධාර වූ රසය කාවදින්නා වූ දිවෙහි ඒ ඔපය ජිහ්වා ප්‍ර‍සාදය යි.

කාය ප්‍ර‍සාදය

ඒ ඒ වස්තූන්හි ඇත්තා වූ තද බව මොලොක් බව රළු බව සෙවෙනි බව බර බව සැහැල්ලු බව සිසිල් බව උණුසුම් බව යන ආදි ස්පර්ශයන් ගැටෙන්නා වූ කාවදින්නා වූ එක්තරා ස්වභාවයක් ශරීරයෙහි පවත්නේය. එය හිසකෙස්, ලොම්, නිය, වියළි සම්, පාචක ගින්න ඇති ස්ථාන හැර සියළු ශරීරයෙහි පැතිර පවත්නේ ය. ස්පර්ශ දැන ගන්නා වූ සිත එහි පහළ වන්නේය. ඒ ස්පර්ශ දැනගන්නා වූ සිත ඉපදීමට ස්ථාන වන ඒ ස්වභාවයට කාය ප්‍ර‍සාදය යි කියනු ලැබේ.

ගෝචර රූප

රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය යන මේ පස ගෝචර රූපයෝ ය.

රූපය යනු නිල්-කහ-රතු-සුදු යන ආදි වර්ණයෝ ය. රූපස්කන්ධ යනාදි තැන්වල රූප යනුවෙන් අදහස් කරන්නේ ඒ විසිඅට ම ය. මෙතැන්හි රූප යනුවෙන් අදහස් කරන්නේ ඒ විසි අටක් වූ රූපයන් අතුරෙන් වර්ණය (පැහැය) නමැති එක රූපයකි. රූප විසි අට අතුරෙන් ඇසට පෙනෙන්නේ වර්ණය වූ එක ම රූපය පමණෙකි. ඉතිරි සත් විස්සක් රූපයෝ ඇසට නො පෙනෙති.

ශබ්ද රසය යනු වස්තු දෙකක් එකට සැපුණු විට හටගන්නා වූ ශබ්ද, කථා කරන ශබ්ද, නලා ශබ්දාදි වාතය ගැටීමෙන් හට ගන්නා වූ ද ශබ්දයෝ ය. ගන්ධය යනු ඒ ඒ වස්තූන්හි ඇත්තා වූ ඒ දුගඳ සුඟඳ දෙකය. රසය යනු ඒ ඒ වස්තූන්හි ඇත්තා වූ පැණි රස, තිත්ත රස, කසට රස, ඇඹුල් රස ආදි රසයෝ ය. ස්පර්ශය යනු තද බව මෘදු බව රළු බව සෙවෙනි බව බරබව සැහැල්ලු බව සිසිල් බව උණුසුම් බව යනාදි ශරීරයට දැනෙන්නා වූ ස්වභාවයෝ ය. ගෝචර රූපයන් දක්වන කල ‘ස්පර්ශ’ රූපයයි රූපයක් දක්වන නමුත් එය අමුතු රූපයක් නො වේ. පෘථිවි තේජෝ වායෝ යන මහාභූත තුනට ම ස්පර්ශ රූපයයි ද කියනු ලැබේ. එබැවින් ගෝචර රූප පසකට බෙදා දක්වන ලද නමුත් සංඛ්‍යා වශයෙන් ගැන්මේ දී සතරක් වශයෙන් ගණන් ගන්නා බව දත යුතු.

භාව රූප

ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය යි භාව රූප දෙකකි. සත්ත්වයන්ගේ ශරීර සෑදෙන්නේ පෘථිවි ආදි ධාතූන්ගෙනි. ස්ත්‍රී පුරුෂ ශරීර දෙක්හි ම ඒ ධාතූන්ගේ වෙනසක් නැත. නමුත් ස්ත්‍රී ශරීරයත් පුරුෂ ශරීරයත් දෙක එකිනෙකට ඉතා වෙනස් ය. ඒ වෙනස්කම තැනක දෙතැනක නොව මුළු ශරීරයේ ම පවත්නේ ය. ස්ත්‍රී පුරුෂ ශරීර දෙක්හි කිසි ම අවයවයක් එකිනෙකට සමාන නැත. එක ම වර්ගයකට අයත් ධාතූන් එකතුව සත්ව ශරීරය සෑදෙන කල්හි ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙනසක් වන්නේ ඒ පෘථිවි ආදි ධාතූන් හා තවත් රූපයක් මිශ්‍ර‍ වීමෙනි. ඒ රූපය නම් භාව රූපය යි. ස්ත්‍රී භාව රූප සහිත වූ කල්හි පෘථිවි ආදි ධාතූහු ස්ත්‍රී භාව රූපයට අනුකූල වී ස්ත්‍රී රූපයක් සාදති. පුරුෂ භාව රූපය සහිත වූ කල්හි පුරුෂ ශරීරයක් සාදති. භාව රූපය සකල ශරීරයෙහි පැතිර පවත්නේය. එය ඉතා සියුම්ය. ඇසට නො පෙනෙන්නේය. සත්ත්වයා මළ කල්හි එය අතුරුදහන් වන්නේ ය. මළ සිරුරුවල භාව රූප නැත.

හෘදය වස්තු රූපය

මනුෂ්‍යයාගේ ශරීරයෙහි පපුවෙහි පෙණහැල්ලට යටින් හෘදය වස්තුව නම් වූ අඹ ගෙඩියක හැඩහුරුකම ඇති දෙයක් ඇත්තේය. එය ප්‍ර‍මාණයෙන් මනුෂ්‍යයාගේ මිට පමණ වේ. එයට හෘදය වස්තුව යයි කියනු ලැබේ. එය මනුෂ්‍යයාට වඩා මහත් වූ සත්ත්වයන් තුළ මනුෂ්‍යයාගේ හෘදය වස්තුවට වඩා මහත්ව ද කුඩා සතුන් තුළ කුඩාවට ද පිහිටා තිබේ. රූපස්කන්ධය හෙවත් අටවිසි රූපය දක්වන තැන්වල හෘදය වස්තු නාමයෙන් දක්වන්නේ මේ හෘදය වස්තුව නොවේ. හෘදය වස්තුව නම් වූ මේ මස්ගඩුව තුළ කුහරයන්හි අඩ පතක් පමණ ලේ ඇත්තේය. ඒ ලෙයෙහි චක්ෂුඃ ප්‍ර‍සාදාදිය සේ සිත් ඉපදීමට ආධාර වන එක්තරා දෙයක් තිබේ. රූප විසිඅට දක්වන තැන හෘදය වස්තුව යයි කියනු ලබන්නේ ඒ ලෙයෙහි පවත්නා වූ සිත්වලට ආධාර වන දෙයට ය.

ජීවිතේන්ද්‍රිය රූපය

කර්මය, චිත්තය, සෘතුවය, ආහාරය කියා රූප උපදවන හේතු සතරෙකි. දල්වා තිබෙන පහනේ ගින්න, තෙල් නිසා පවත්නා දෙයකි. තෙල් නැතිවීමෙන් පසු මොහොතකුදු ඉදිරියට පැවතිය හැකි ශක්තියක් ඒ ගින්නට නැත. එමෙන් චිත්ත සෘතු ආහාර යන රූපජනක හේතූන්ගෙන් උපදනා රූපයෝ ද ඒ හේතූන් ඇතිතෙක් පවතිත්. හේතූන්ගේ අභාවප්‍රාප්තියෙන් පසු පැවතිය හැකි ශක්තියක් ඒවාට නැත. හේතූන්ගේ අභාවප්‍රාප්තියෙන් පසු ඒවා ද අභාවප්‍රාප්ත වන්නේ ය. මෙය ආහාරයෙන් උපදනා රූප කොටස ගැන සලකා බැලීමෙන් පහසුවෙන් දත හැකිය. ආහාරයක් අනුභව නො කළ කල්හි ශරීරය දුබල ද මලානික ද වෙයි. එයට හේතුව ශරීරය බලවත් කරන ප්‍රබෝධ කරන ආහාරයෙන් උපදවන රූප කොටස ශරීරයට අඩුවීම ය. ඒවා නැවත ඇති කිරීමට නැවත ආහාරයක් ගත යුතුය. ඒ ආහාරය ද දිරා නැති වී ගිය පසු එයින් උපන් රූපයෝ ද නිරුද්ධ වෙති. ආහාරයෙන් උපදවන රූපයන්ට ශරීරය තුළ ආහාර නැති වීමෙන් පසු තවත් ඉදිරියට පැවතිය හැකි ශක්තියක් නැත. චිත්ත සෘතු දෙකින් හටගන්නා රූපයන්ගේ ස්වභාවය ද එසේ ම ය. කර්මයෙන් හටගන්නා රූපයන්ගේ ස්වභාවය ඒවාට හාත්පසින් ම වෙනස් ය. දැනට පවත්නා ශරීරයේ තිබෙන කර්මජ රූප අතීත භවයකදී කළ කර්මයක බලයෙන් පහළ වූ ඒවාය. ඒ අතීත කර්මය එවෙලේ ම නිරුද්ධ බැවින් දැනට නැත. එහෙත් අජීවමාන වූ කර්මයෙන් උපදවන රූප, පරම්පරා වශයෙන් දීර්ඝ කාලයක් ශරීරයෙහි පවතී. ඒවා අලුතෙන් උපදවා ගැනීම පිණිස නැවත නැවතත් කර්ම කළ යුතු බවක් නැත. ඒවාට එසේ දීර්ඝ කාලයක් පැවතිය හැකි වීමට විශේෂ බලයක් තිබිය යුතුය. ඒ බලය නම් ජීවිතේන්ද්‍රිය රූපයයි. එය ද අතීත කර්මයෙන් ඉපිද, අන්‍ය කර්මජ රූපයන් පාලනය කරමින් කර්මජ රූපයන් හා බැඳී පවත්නා වූ රූපයකි.

ආහාර රූපය

ආමාශයට පැමිණියා වූ ආහාරය එහිදී ඇඹරෙමින් පාචාකාග්නියෙන් පැසෙන්නේ ය. පැසෙන කල්හි එහි සාරය වූ යුෂය එයින් නික්මෙන්නේය. ඒ යුෂයට රස ධාතුව යයි කියනු ලැබේ. ඒ රස ධාතුව නහර වලින් ශරීරය සෑම තැනකට ම ගෙන යනු ලැබේ. ශරීරයේ ඒ ඒ තැන්වලට පැමිණියා වූ, ඒ රස ධාතුවෙහි ඇත්තා වූ ඉතා සියුම් වූ එක්තරා දෙයක්, ශරීරයෙහි ඒ ඒ තැන්වල රූපයන්ට අනුබල දී තවත් රූප කොටසක් උපදවයි. ඒ රස ධාතුවෙහි පිහිටි සූක්ෂම දෙය ආහාර රූපයයි. එයින් උපදවන්නා වූ රූපයන්ට ආහාරජ රූපයෝය යි කියනු ලැබේ.

මෙතෙකින් දක්වන ලද මහාභූත රූප සතරය, ප්‍ර‍සාද රූප පසය, ගෝචර රූප සතරය, භාව රූප දෙකය, හෘදය වස්තු රූපය, ජිවිතේන්ද්‍රිය රූපය, ආහාර රූපය යන මේ රූප අටළොස ප්‍ර‍ධාන රූපයෝ ය.

ආකාශ ධාතුවය, කාය විඥප්තිය, වාග්විඥප්තිය, ලහුතා රූපය, මුදුතා රූපය, කම්මඤ්ඤතා රූපය, උපචය රූපය, සන්තති රූපය, ජරතා රූපය, අනිච්චතා රූපයයි අප්‍ර‍ධාන රූප දශකයෙක් ද වෙති. සියල්ල එකතු කළ කල්හි රූප විසි අටක් වන්නේය. මේ විසි අටක් වූ රූපය රූපස්කන්ධය නම් වන්නේය.

වේදනාස්කන්ධය

සිතට දැනෙන්නා වූ සිතින් දත හැක්කා වූ සියල්ලට අරමුණු යයි කියනු ලැබේ. අරමුණු අතුරෙන් ශෝභන ස්ත්‍රී පුරුෂ රූප, ඇඳුම් පැළඳුම්, ගෙවල්, ඇඳ පුටු මේස, භාජන-ශබ්ද-රසවත් ආහාර පාන, සුවඳ ද්‍ර‍ව්‍ය යනාදීන්හි අරමුණු කරන්නා වූ සිත පිනවන ස්වභාවයක් ඇත්තේ ය. මළකුණු, මලමුත්‍ර‍, ලේ සැරව, කෙළ සොටු ආදි වස්තූන්හි අරමුණු කරන සිත, රිදවන ස්වභාවයක් ඇත්තේ ය. වෘක්ෂ, පර්වතාදි ඇතැම් වස්තූන්හි, අරමුණු කරන සිත මධ්‍යම ස්වභාවයෙන් පවත්වන ස්වභාවයක් ඇත්තේය. අරමුණුවල ඇත්තා වූ, ඒ සිත පිනවන්නා වූ ද, මැදහත්ව පවත්නා වූ ද, ස්වභාවයන්ට ආරම්මණ රසය යි කියනු ලැබේ. යම් කිසිවක් අරමුණු කොට, සිතක් උපන් කල්හි ඒ ඒ අරමුණට අයත් වූ යහපත් වූ හෝ අයහපත් වූ හෝ මධ්‍යම වූ හෝ රසය ගන්නා වූ ස්වභාවයක් ද, සෑම සිතක් සමග ම උපදනේ ය. එයට වේදනාවය යි කියනු ලැබේ.

එය එක් චෛතසික ධර්මයකි. එයට ආරම්මණයා ගේ ඉෂ්ටාකාරය - ඉෂ්ට රසය ගන්නා කල්හි සුඛ වේදනාව යයි ද, අනිෂ්ටාකාරය ගන්නා කල්හි දුඃඛ වේදනාව යයි ද, මධ්‍යස්ථාකාරය ගන්නා කල්හි උපේක්ෂා වේදනාව ය යි ද කියනු ලැබේ. නොයෙක් අයුරින් ඇති වන්නා වූ වේදනා සමූහයට වේදනා ස්කන්ධ යයි කියනු ලැබේ. ගිනිපෙට්ටියෙහි ගිනිකූරු ඇතිල්ලීමෙන් ගිනි හටගන්නාක් මෙන්, වේදනාවෝ චක්ෂුරාදී ද්වාරයන්හි රූපාදි ආරම්මණ ගැටීමෙන් හටගනිති. එබැවින් ද්වාරයන්ගේ වශයෙන් වේදනාස්කන්ධය දක්වනු පිණිස -

“කතමා ච භික්ඛවෙ! වෙදනා? ඡයිමේ භික්ඛවෙ වෙදනා කායා, චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොත සම්ඵස්සජා වෙදනා, ඝාණසම්ඵස්සජා වෙදනා, ජිව්හා සම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනො සම්ඵස්සජා වෙදනා, අයං වුච්චති භික්ඛවෙ වෙදනා”

යනු වදාරන ලදි. “මහණෙනි! වේදනා තොමෝ කවරීද? චක්ඛුසම්ඵස්සජ වේදනාවය, සෝත සම්ඵස්සජ වේදනාවය, ඝාණ සම්ඵස්සජ වේදනාවය, ජිව්හා සම්ඵස්සජ වේදනාවය, කායසම්ඵස්සජ වේදනාවය, මනෝසම්ඵස්සජ වේදනාවය යන මේ සය වේදනාවයයි කියනු ලැබේ.” යනු එහි තේරුම යි.

චක්ඛුසම්ඵස්සජ වේදනාදි වශයෙන් වේදනා සයක් වන බව මෙයින් ප්‍ර‍කාශිත ය. චක්ඛුසම්ඵස්සජ වේදනාවය යනු ඇසට රූපයක් හමු වූ කල්හි රූපය ඇසෙහි ගැටීමෙන් හටගන්නා වූ වේදනාවය, හෙවත් ඇසෙහි ගැටුණු රූපය දැන ගන්නා වූ සිත හා උපන් ආරම්මණ රසය විඳින්නා වූ ධර්මයයි. සෝතසම්ඵස්සජ වේදනාදිය ද මේ නයින් දතයුතු.

සාමාන්‍ය පුද්ගලයන් විසින් සැපය යි ද දුකය යි ද සලකනු ලබන්නේ මේ වේදනාව ම ය. ඔවුන් සැපයයි සලකන දේවල් අතර මේ සුඛවේදනාවට වඩා උතුම් දෙයක් නැත්තේය. එබැවින් අන් හැමට ම වඩා සත්ත්වයා සුඛවේදනාවට ඇලුම් කරන්නේය. සුඛ වේදනාව සත්ව සන්තානයෙහි ඉබේට ම උපදින දෙයක් නො වන බැවින්, සුඛවේදනාවේ උත්පත්තියට හේතුවන ආහාර පාන, ඇඳුම් පැළඳුම්, යාන වාහන, ගෙවල් මිල මුදල් ආදියට ද, සත්ත්වයා දෙවැනි කොට ඇලුම් කරයි. ඉදින් සුඛවේදනාව ඉබේ ම උපදින්නී නම් ඒ කිසිවකට සත්ත්වයා ඇලුම් නො කරන්නේ ය. ඒ කිසිවක් ලබන්නට ද උත්සාහ නො කරන්නේ ය.

සත්ත්වයන් විසින් සොයන සෑම දෙයක් ම සොයන්නේ මේ සුඛ වේදනාව පිණිස ම ය. දුඃඛ වේදනාවට පමණ සත්ත්වයා බියවන අන් කිසිවක් ද නැත්තේ ය. සත්ත්වයා සතුරන්ට බිය වන්නේත්, රෝගයන්ට බිය වන්නේත්, දඬුමුගුරුවලට සිර ගෙයට අපායට බිය වන්නේත්, දුඃඛ වේදනාවට බිය නිසා ම ය. එබැවින් වේදනාව සාමාන්‍යයෙන් එකක් වුව ද, ඉතා මහත් කොට ගන්නා දෙයක් බැවින් තථාගතයන් වහන්සේ විසින් ස්කන්ධ වශයෙන් ධර්මයන් බෙදීමේ දී වේදනාව එක් ස්කන්ධයක් කොට වදාරන ලද්දේ ය.

සංඥාස්කන්ධය

බුද්ධ දේශනාවේ ඇති “සඤ්ඤාක්ඛන්ධ” යන වචනයෙහි අර්ථය දැක්වීමට සංස්කෘතයෙහි යෙදෙන වචනය “සංඥාස්කන්ධ” යන්නයි. සිංහලයෙහි ද ඒ අර්ථය දීමට එය ම භාවිතා කරති. තවද “සඤ්ඤා, සංඥා යන වචනවලින් කියවෙන අර්ථය පැවසීමට සිංහලයෙහි “හැඳිනීම, හැඟීම, දැනීම” යන වචන ද යොදති. “දැනීමය” යන වචනය පාළි “විඤ්ඤාණ” යන වචනයෙන් කියැවෙන අර්ථයට ද යොදති. දැනීමය යන වචනය සිංහලයෙහි “සඤ්ඤා විඤ්ඤාණ” යන දෙක ම වෙනුවට යෙදෙන බැවින් සංඥා විඥාන ස්කන්ධයන් තේරුම් ගැනීමේ දී අවුල් කර නො ගන්නට පරෙස්සම් විය යුතුය.

පස් - දිය - ගිනි - සුළං - රන් - රිදී - ගස් - වැල් - මුල් - කොළ - පොතු - මල් - ගෙඩි - කෑම් - බීම් - ඇඳුම් - පැළඳුම් - ගෙවල් ආදී වස්තූන් ද, කථා ශබ්දාදි ශබ්දයන් ද, මිනිස් තිරිසන් ආදි සත්ත්වයන් ද, වර්ණ ගන්ධ රසාදි ගුණ ද, කරන කෙරෙන වැඩ ද, තවත් නො කී දෑ ඇති නම් ඒවා ද, හැඩහුරුකම පැහැය යනාදි ලකුණුවල අනුසාරයෙන් වෙන් වෙන්ව හැඳින ගන්නා වූ දැන ගන්නා වූ ස්වභාවය හෙවත් ඒ ඒ දේ හැඳිනීම දැනීම සංඥා නම් වේ. පස් දිය ගිනි සුළං ආදි සියල්ල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන ෂඩාරම්මණයට ඇතුළත් වන බැවින් ෂඩාරම්මණයාගේ වශයෙන් සංඥාස්කන්ධය දක්වනු පිණිස:

“කතමා ච භික්ඛවෙ! සඤ්ඤා? ඡයිමෙ භික්ඛවෙ, සඤ්ඤාකායා, රූපසඤ්ඤා, සද්දසඤ්ඤා, ගන්ධසඤ්ඤා, රසසඤ්ඤා, ඵොට්ඨබ්බසඤ්ඤා, ධම්මසඤ්ඤා අයං වුච්චති භික්ඛවෙ! සඤ්ඤා”

යනු වදාළ සේක. “මහණෙනි! සංඥාව කවරී ද යත්? මහණෙනි! රූප සංඥාය, ශබ්ද සංඥාය, ගන්ධ සංඥාය, රස සංඥාය, ස්පර්ශ සංඥාය, ධර්ම සංඥාය යන මේ සය සංඥා සමූහයෝය. මහණෙනි! මෙය සංඥා යයි කියනු ලැබේය” යි යනු එහි තේරුමයි.

අරමුණු හැඳිනීමේ ලක්ෂණයෙන් සංඥාව එක් ධර්මයකි. එය දෙපනස් චෛතසිකයන් අතුරෙන් එක් චෛතසිකයකි. ඒ සංඥාවෙන් හැඳින ගන්නා වස්තූහු ඉතා බොහෝය. ඒ වස්තූන්ගේ වශයෙන් මව හැඳින ගන්නා සංඥාවය, පියා හැඳින ගන්නා සංඥාවය යන ආදී වශයෙන් අප්‍ර‍මාණ සංඥාවෝ වෙත්. ඒ සියල්ල එක් සමූහයක් වශයෙන් ගෙන සංඥාස්කන්ධය යි කියනු ලැබේ. සංඥා රාශිය, සංඥා ගොඩය යනු එහි තේරුමයි.

සාමාන්‍ය ජනයා විසින් ආත්ම වශයෙන් ගනු ලබන නාම රූප ධර්මයන් අතුරෙන් මේ සංඥාව ඉතා මහත් කොට උසස් කොට ගන්නා දෙයකි. එබැවින් ලෝකයෙහි ‘මෝඩයෝය’ කියා මඳ සංඥා ඇතියවුන් පහත් කොට ද - ‘දැනුමැත්තෝ ය, උගත්තුය, පණ්ඩිතයෝ ය’ කියා බොහෝ සංඥා ඇතියවුන් උසස් කොට ද සලකති. සංඥා දියුණු කර ගැනීම පිණිස බොහෝ දුක් ගනිති. බොහෝ කල් වෙහෙසෙති. බොහෝ ධනය වියදම් කරති. උගෙනීමය යි කියනු ලබනුයේ සංඥා දියුණු කිරීමට ය. උගෙනීම සඳහා යම් දුකක් විඳී නම්, යම් මහන්සියක් වේ නම්, යම් ධන වියදමක් කෙරේ නම් එය සංඥා දියුණු කිරීමට විඳිනා දුකකි. ගන්නා මහන්සියකි, කරන වියදමකි. ජනයෝ “මම මේ දේ ගනිමිය, මේ මේ භාෂා දනිමිය, මේ මේ ශාස්ත්‍ර‍ දනිමිය” කියා සංඥාව ආත්ම වශයෙන් ගෙන, නැවත “අන්‍යයෝ යමක් දනිත් නම් ඒ සියල්ල මමත් දනිමිය කියා ද, අන්‍යයන්ට වඩා දනිමිය කියා ද, මේ මේ විභාගවලින් සමත් වූයෙමි” යි කියා ද මාන උපදවා ගනිති. මෙසේ මේ සංඥාව එක් ධර්මයක් වුවද මහත් කොට ගන්නා බැවින් ද දෘෂ්ටි මානයන්ට විශේෂයෙන් හේතු වන බැවින් ද සත්ත්වයන් විසින් ආත්ම වශයෙන් ගන්නා ධර්මයන් කොටස් කිරීමේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සංඥා ස්කන්ධය’ කියා වෙන් වූ ස්කන්ධයක් කොට වදාරන ලද්දේය.

සංස්කාරස්කන්ධය

රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන ස්කන්ධ පඤ්චකය උපදවා ගැනීම සඳහා ද, පවත්වා ගැනීම සඳහා ද සත්ත්වයන් විසින් කරන්නා වූ කෑම් - බීම් - නෑම් - ඉඳුම් - හිටුම් - යෑම් - නිදීම් ආදි අනේක ප්‍ර‍කාර ක්‍රියාවන් සිදු කරන්නා වූ චේතනාව ප්‍ර‍ධාන කොට ඇති චෛතසික ධර්ම සමූහය සංස්කාරස්කන්ධය යි කියනු ලැබේ.

චේතනාව විසින් අවශේෂ චෛතසිකයන් හා සිත ද සහාය කොට ගෙන ඒ ඒ කායික, වාචසික, මානසික ක්‍රියා සිදු කරනු ලැබේ. එබැවින් සත්ත්වයන් කරන සෑම ක්‍රියාවකට ම චේතනාව ප්‍ර‍ධාන වේ. සිතෙහි හා අන්‍ය චෛතසිකයන්ගේ ද සහයෝගය නොමැතිව හුදු චේතනාවටමත් කිසි ම ක්‍රියාවක් සිදු කළ නො හෙන බැවින් එයට අන්‍ය චිත්ත චෛතසිකයන්ගේ සහයෝගය ද වුවමනාය. චේතනාව හා එක්ව ඒ ඒ ක්‍රියා සිදුකරන බැවින් අන්‍ය චිත්ත චෛතසිකයෝ ද, සංස්කාරයෝ ම ය. ක්‍රියා සිදු කරන්නෝ ම ය. එහෙත් චිත්ත, වේදනා, සංඥා යන ධර්ම තුන වෙන් වෙන් වූ ස්කන්ධ තුනක් කොට ගන්නා ලද බැවින්, ඒවාට සංස්කාර යයි නො කියනු ලැබේ. චේතනාව සහිත වූ චෛතසික පනසකට පමණක් සංස්කාරයෝ ය යි කියනු ලැබේ.

චේතනා ප්‍ර‍ධාන චෛතසික ධර්ම සමූහය විසින් සිදු කරන්නා වූ ක්‍රියා අතුරෙන් කොටසක් මෙලොව පිණිස ද, කොටසක් පරලොව පිණිස ද සිදු කරනු ලැබේ. කෑම් බීම් ඉඳීම් සිටීම් නිදීම් යෑම් හැඳීම් පැළඳීම් ආහාර පාන වස්ත්‍රාදිය සැපයීම් මුදල් සැපයීම් ආදිය මෙලොව පවත්නා ස්කන්ධපඤ්චකය සඳහා කරන්නා වූ ක්‍රියාවෝය. එයිනුදු ඉරියව් පැවැත්වීම් ආහාර වැළඳීම් ආදිය රූපස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. මිහිරි අහර බුදීම්, ක්‍රීඩා පැවැත්වීම්, නැටුම් බැලීම් ආදිය වේදනා ස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. අකුරු ඉගෙනීම් ආදිය සංඥාස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. ශ්‍ර‍ද්ධා ප්‍ර‍ඥා වීර්යාදිය වර්ධනය කර ගැනීම සඳහා කරන ක්‍රියාවෝ සංස්කාර විඥානයන් සඳහා කරන ක්‍රියාවෝය. සමහර විටක දී කෑම් බීම් ආදි සියල්ල ම ද ස්කන්ධ පඤ්චකය ම සඳහා කරන ක්‍රියාවෝය. අනාගතයෙහි දෙව් ලොව මිනිස් ලොව ඉපදීම සඳහා කරන දාන ශීලාදි ක්‍රියාවෝ අනාගත භවයෙහි පඤ්චස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. ඒ ඒ ක්‍රියා සිදු කිරීමෙහි චේතනාව ම ප්‍ර‍ධාන බැවින් පඤ්චස්කන්ධය සැකෙවින් දක්වන නොයෙක් සූත්‍ර‍වලදී තථාගතයන් වහන්සේ විසින් චේතනාව ම සංස්කාරස්කන්ධය වශයෙන් වදාරා තිබේ.

“කතමෙව භික්ඛවෙ! සංඛාරා? ඡයිමෙ භික්ඛවෙ චෙතනාකායා, රූප සඤ්චෙතනා, සද්ද සඤ්චෙතනා, ගන්ධ සඤ්චෙතනා, රස සඤ්චෙතනා, ඵොට්ඨබ්බ සඤ්චෙතනා, ධම්ම සඤ්චෙතනා, ඉමෙ වුච්චන්ති භික්ඛවෙ සංඛාරා”

මේ චේතනාව ම සංස්කාරස්කන්ධය වශයෙන් වදාළ දේශනාවෙකි. “මහණෙනි! සංස්කාරයෝ කවරහුද?

“මහණෙනි! රූප සඤ්චේතනාවය, ශබ්ද සඤ්චේතනාවය, ගන්ධ සඤ්චේතනාවය, රස සඤ්චේතනාවය, පොට්ඨබ්බ සඤ්චේතනාවය, ධම්ම සඤ්චේතනාවය යන මේ සය චේතනා සමූහයෝ ය. මහණෙනි! මොවුහු සංස්කාරයෝ යයි කියනු ලැබෙත්ය” යනු එහි තේරුමයි.

මෙයින් සංස්කාරස්කන්ධ සංඛ්‍යාත චේතනාව රූපාදීන්ගේ වශයෙන් සවැදෑරුම් වන බව දැක්වේ. කුශලා’කුශල අව්‍යාකෘත වශයෙන් ද චේතනාව ත්‍රිවිධ වන්නීය. අව්‍යාකෘතය යනු කුශලා’කුශල නොවන දෙය ය. චේතනාව මෛත්‍රී කරුණා ශ්‍ර‍ද්ධා ප්‍ර‍ඥාදි කුශල පාක්ෂික චෛතසිකයන් හා එක් වූ කල්හි කුසල් වන්නීය. ලෝභ ද්වේෂ මෝහාදි අකුශල පාක්ෂික චෛතසිකයන් හා එක් වූ කල්හි අකුසල් වන්නීය. කුශලා’කුශල නො වන චෛතසිකයන් හා එක් වූ කල්හි අව්‍යාකෘත වන්නීය. චේතනාවට සහාය වන සංස්කාර ස්කන්ධ පර්යාපන්න චෛතසික සතළිස් නවයකි.

එයින් :-

ඵස්සය, ඒකග්ගතාවය, ජිවිතින්ද්‍රිය, මනසිකාරය, විතක්කය, විචාරය, අධිමොක්ඛය, විරියය, පීතිය, ඡන්දය යන චෛතසික දශය විටෙක කුශල් වන්නා වූ ද විටෙක අකුශල් වන්නා වූ ද විටෙක කුශලා’කුශල නොවන්නා වූ ද චෛතසිකයෝ ය.

මෝහය, අහිරිකය, අනොත්තප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝසය, ඉස්සාය, මච්ඡරිය, කුක්කුච්චය, ථීනය, මිද්ධය, විචිකිච්ඡාවය යන තුදුස අකුසල චෛතසිකයෝ ය.

සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලොභ, අදොස, තත්‍ර‍මජ්ඣත්තතා, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කාය ලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුජුකතා, චිත්තුජුකතා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, පඤ්ඤා යන චෛතසික පස්විස්ස විටෙක කුසල් ද විටෙක අව්‍යකෘත ද වන්නා වූ චෛතසිකයෝ ය. චේතනාවත් සමග පනසක් වූ මේ චෛතසික ධර්ම සමූහය සංස්කාරස්කන්ධය නම් වන්නේ ය.

විඥානස්කන්ධය

විඥානය යනු සිතට ම ව්‍යවහාර කරන නමෙකි. අතීතාදි වශයෙන් භින්න වූ අනේක ප්‍ර‍කාර විඥානයන් එක් සමූහයක් කොට සලකා ඒ සියල්ලට ම විඥාන ස්කන්ධය යි කියනු ලැබේ. සිත් සමූහය යනු එහි තේරුමයි. සිත උපදිනුයේ චක්ෂු ශ්‍රෝත්‍ර‍ ඝ්‍රාණ ජිහ්වා කාය මන යන සදොරෙහි ය. එබැවින් උත්පත්ති ද්වාරයන්ගේ වශයෙන් විඥානස්කන්ධය දක්වන සේක් -

“කතමඤ්ච භික්ඛවෙ! විඤ්ඤාණා? ඡයිමෙ භික්ඛවෙ විඤ්ඤාණකායා, චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝාණවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං, අයං වුච්චති භික්ඛවෙ විඤ්ඤාණං” යනු වදාළ සේක. “මහණෙනි! විඥානය කවරේද යත්? මහණෙනි! චක්ෂුර් විඥානය, ශ්‍රෝත විඥානය, ඝ්‍රාණ විඥානය, ජිහ්වාවිඥානය, කායවිඥානය, මනෝවිඥානය යන මේ සය විඥාන සමූහයෝ ය. මහණෙනි, මෙය විඥානය යි කියනු ලැබේය” යනු එහි තේරුමයි.

මෙයින් විඥානය චක්ෂුර් විඥානාදි වශයෙන් සවැදෑරුම් වන බව ප්‍ර‍කාශිතය. ඇස ඉදිරියට රූපයක් පැමිණි කල්හි ඇස ඇසුරු කොට, ඉදිරියට පැමිණියා වූ වස්තුව දැන ගන්නා වූ සිතක් පහළ වේ. එයට චක්ෂුර් විඥානය යි කියනු ලැබේ. ඇස කරණකොට ගෙන ඇස ඉදිරියෙහි වූ වස්තූන් දැන ගැනීම සිතක් වුව ද සාමාන්‍ය ජනයා එයට සිතය යි නොකියා, පෙනීම යයි ද දැකීම යයි ද කියති.

ශබ්දයක් කණ කරා පැමිණි කල්හි එය දැන ගන්නා සිතක් පහළ වේ. එයට ශෝත්‍ර‍ විඥානයයි කියනු ලැබේ. සාමාන්‍ය ජනයා එයට සිත යයි නො කියා ඇසීම යයි කියති.

නැහැයට ගඳක් හෝ සුවඳක් පැමිණි කල්හි නාසයෙහි පහළ වන්නා වූ ගඳ සුවඳ දැන ගන්නා සිත ඝ්‍රාණ විඥාන නම් වේ. දිවට රසයක් පැමිණි කල්හි ඒ රසය දැන ගන්නා සිතට ජිව්හා විඥානය යි කියනු ලැබේ. මේ දෙකට ද සාමාන්‍ය ජනයා ගඳ සුවඳ දැනීම රස දැනීම යයි කියති.

ශරීරයෙහි යම් කිසිවක් හැපුන විට එය දැන ගන්නා සිතට කාය විඥානය යි කියනු ලැබේ. සාමාන්‍ය ජනයා එයට සිතකැයි නොකියා: රිදීමය, දෑමය, කැසීමය, කිතිය, සනීපය යනාදි නම් කියතා. ඉතිරි සියලු ම දැනීම්වලට මනෝ විඥානය යි කියනු ලැබේ. සාමාන්‍ය ජනයා විසින් බොහෝ සෙයින් සිත යයි කියනු ලබන්නේ ඒ මනෝ විඥානයට ම ය.

ලෝකයෙහි දැකීමය පෙනීමය ඇසීමය රිදුමය සනීපය දැනුමය යනාදි නොයෙක් නම් වලින් ව්‍යවහාර කරනු ලබන දැනීම් සියල්ල ම විඥානස්කන්ධය වූ සිත ම බව දත යුතු. විඥානය හෙවත් සිත කුශලා’කුශල අව්‍යාකෘත වශයෙන් ද ත්‍රිවිධ වන්නේය. දානාදි ක්‍රියා විෂයෙහි පවත්නා වූ අලෝභ අද්වේෂ අමෝහ ශ්‍රද්ධාදි කුශල පාක්ෂික චෛතසිකයන් හා යුක්ත වූ විඥානය කුශල විඥාන නම් වේ. ඒ කුශල විඥානය ප්‍රභේද වශයෙන් එක්විසි වැදෑරුම් වේ. ප්‍රාණඝාතාදි අකුශල වශයෙන් පවත්නා වූ ලෝභ ද්වේෂ මෝහාදි අකුශල පාක්ෂික චෛතසිකයන් හා යුක්ත වූ විඥානය අකුශල විඥාන නම් වේ. ප්‍රභේද වශයෙන් අකුසල විඥාන දොළසකි. කුශලාකුශල භාවයට නො පැමිණෙන විඥානය අව්‍යාකෘත විඥානය යි. ප්‍රභේද වශයෙන් අව්‍යාකෘත විඥාන සපනසකි.

“ඵෙණපිණ්ඩූපමං රූපං - වෙදනා බුබ්බුලුපමා.

මරීචිකූපමා සඤ්ඤා - සංඛාරා කදලුපමා,

මායූපමඤ්ච විඤ්ඤාණං - දීපිතාදිච්චබන්ධුනා”

“රූපස්කන්ධය පෙණ පිඬකට බඳු උපමා ඇත්තේය. වේදනාස්කන්ධය දිය බුබුලකට බඳු උපමා ඇත්තේය, සංඥාස්කන්ධය මිරිඟුවකට බඳු උපමා ඇත්තේය. සංස්කාරස්කන්ධය කෙසෙල් කඳකට බඳු උපමා ඇත්තේය. විඥානස්කන්ධය මායාවකට - විජ්ජාවකට බඳු උපමා ඇත්තේය. මෙසේ බුදුරජාණන් වහ්නසේ විසින් දක්වන ලද්දේය.” යනු ගාථාවෙහි තේරුමයි.

පඤ්චස්කන්ධයාගේ දුඃඛත්වය

මේ අනන්තාවකාශයෙහි පැතිර පවත්නා වූ අනන්ත ලෝක ධාතූන්හි මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම නාගාසුරාදි නොයෙක් නම්වලින් පෙනී සිටින සියලු සත්ත්වයෝ ම ස්කන්ධයෝ ම ය. හෙවත් නාම රූප ධර්ම සමූහයෝ ය.

ස්කන්ධයන් හැර සත්ත්වයාය, පුද්ගලයාය, දෙවියාය, මිනිසාය කියා අමුතුවෙන් කිසිවෙක් නැත්තේය. ගල්-බදාම-යටලී-පරාල-රීප්ප-උළු ආදි ද්‍ර‍ව්‍ය සමූහය හැර ගෙයක්ය කියා අමුතුවෙන් කිසිවක් නැතුවාක් මෙන් ස්කන්ධ හැර සත්ත්වයාය කියා අමුතුවෙන් කිසිවක් නැති බව දත යුතුය. සෑම සත්ත්වයකු හට ම ස්කන්ධ පස බැගින් ම ද නැත්තේය. සත්ත්ව සමූහයා අතුරෙන් අසංඥතල වාසීහු රූපස්කන්ධය පමණක් ඇත්තෝය. අරූපි සත්ත්වයෝ වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධ සතර පමණක් ඇත්තෝය. රූප ස්කන්ධය නැත්තෝය. ඉතිරි සකල සත්ත්වයෝ ම පඤ්චස්කන්ධය ම ඇත්තෝය. ලෝකයෙහි දුකය කියා යමක් වේ නම් එය ද පඤ්චස්කන්ධය ම ය. පඤ්චස්කන්ධය හැර, පඤ්චස්කන්ධයෙන් පිටත දුකය කියා දෙයක් නැත. එබැවින් දුඃඛ සත්‍යය වදාරන්නා වූ තථාගතයන් වහන්සේ පඤ්චස්කන්ධය දුඃඛ සත්‍යය බව වදාළ සේක. දුකය යනු පඤ්චස්කන්ධය ම බැවින් සත්ත්වයකුගේ හෙවත් පඤ්චස්කන්ධයක ඉපදීම දුක් කඳු පසක් පහළ වීමකැයි ද සත්ත්වයකුගේ ජීවත්වීම දුක් කඳු පසෙක පැවැත්ම ය යි ද දත යුතු.

චතුර්විධ දුඃඛ ස්වභාවයෝ

පඤ්චස්කන්ධයාගේ දුඃඛත්වය වනාහි “දුක්ඛස්ස පීළනට්ඨො සංඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො” යනුවෙන් පටිසම්භිදා මග්ග පාළියෙහි වදාළ සතරක් වූ දුඃඛ ස්වභාවයන්ගේ වශයෙන් දත යුතුයි.

  1. පීඩන ස්වභාවය
  2. සංඛත ස්වභාවය
  3. සන්තාප ස්වභාවය
  4. විපරිණාම ස්වභාවය යි

දුඃඛ ස්වභාව සතරෙකි. එහි පීඩන ස්වභාවය යනු සිත කය දෙක රිදවන ස්වභාවයයි. සංඛත ස්වභාවය යනු ඉබේ ඇති නො වන නැවත නැවතත් ප්‍ර‍ත්‍යයන් කරණකොට ගෙන ඉපදවිය යුතු බවය. සන්තාප ස්වභාවය නම් ගින්නකින් මෙන් නැවත නැවත දවන්නා වූ ස්වභාවයයි. විපරිණාම ස්වභාවය යනු නැවත නැවත බිඳි බිඳී යන ස්වභාවයයි.

යමක මේ පීඩනාදි ලක්ෂණ සතර ඇත්තේ නම් එය සුඛයක් නොව ඒකාන්තයෙන් දුඃඛයකි. චතුරාර්ය සත්‍යය ධර්මය නො දතුවෝ මනුෂ්‍යයකු දෙවියකු බ්‍ර‍හ්මයකු වීම සුවයක් කොට ද උතුම් කොට ද සලකති. ඒ සැප කොට සලකන, උතුම් කොට සලකන මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්මයන්ගේ ස්කන්ධයෝ ද පීඩනාදි ලක්ෂණ සතර ඇත්තෝය. එබැවින් ඒවා දුඃඛයෝ ය. සෑම දෙනා විසින් ම දුක් වශයෙන් පිළිගන්නා වූ ලාමක කොට සලකන්නා වූ තිරශ්චීනාදි ආපායික සත්ත්වයන්ගේ ස්කන්ධයන් විෂයෙහි මේ ලක්ෂණ සතර ඇති බව ඒවා දුක්වන බව කියනුම කවරේද? දුඃඛ සත්‍යය අවබෝධ කරගත හැකි වනුයේ, ශ්‍රේෂ්ඨ යයි සම්මත වූ බ්‍ර‍හ්මස්කන්ධයන්ගේ පටන් දිව්‍ය මනුෂ්‍යාදි සකල සත්ත්වයන්ගේ ම ස්කන්ධයන්ගේ ඇති පීඩනාදි ලක්ෂණ සතර සොයා ගැනීමෙනි. ලක්ෂණ සතර දුටු කල්හි ඒවායේ දුඃඛ තත්ත්වය වැටහෙන්නේය. එබැවින් ශ්‍රේෂ්ඨ යයි සම්මත වූ බ්‍ර‍හ්මයන්ගේ ස්කන්ධවල පටන් දිව්‍ය මනුෂ්‍යාදීන්ගේ ද ස්කන්ධවල දුඃඛත්වය පීඩනාදි ලක්ෂණයන්ගේ වශයෙන් දක්වනු ලැබේ.

චතුර්විධ දුඃඛ ස්වභාවයන් අතුරෙන් පීඩන ස්වභාවය ම දුඃඛයාගේ නියම ලක්ෂණය ද මූල ලක්ෂණය ද කෘත්‍යය ද වන්නේය. සංඛතාදි ස්වභාවයෝ වනාහි පීඩනයාගේ ආකාර විශේෂයෝය. පීඩනය මූල ලක්ෂණය වුව ද එය පවත්නේ සංඛතාදි ස්වභාව තුන හා මිශ්‍ර‍වය. පීඩනය සංඛත ස්වභාවයාගේ වශයෙන් ද වන්නේය. සන්තාප ස්වභාවයාගේ වශයෙන් ද විපරිණාම ස්වභාවයාගේ වශයෙන් ද වන්නේය. සෑම ස්කන්ධ සමූහයක් ම එය මමය, මගේ යයි ගෙන එයට ආශා කරන්නා වූ සත්ත්වයා හට පළමු කොට සංඛත ස්වභාවයෙන් පීඩා කරන්නේය. මධ්‍යයෙහි සන්තාප ස්වභාවයෙන් පීඩා කරන්නේය. අන්තයෙහි විපරිණාම ස්වභාවයෙන් පීඩා කරන්නේය. එබැවින් පීඩනය මූල ස්වභාවය වුව ද එය දැක්වීමෙහිදී සංඛතාදි ස්වභාවයන්ගේ වශයෙන් දැක්විය යුතුය. එබැවින් මෙහිදී එසේ කරනු ලැබේ.

බ්‍ර‍හ්මයන්ගේ දුක්ඛය

සත්ත්වයකුහට නිකම්ම බ්‍ර‍හ්මත්වයට පැමිණිය නො හේ. බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදින්නට නම්, බ්‍ර‍හ්ම ආත්ම භාවයක් හෙවත් බ්‍ර‍හ්ම ස්කන්ධපඤ්චකයක් ලැබීමට නම් එයට නිසි පින් කළ යුතුය. නිකම් නොලැබිය හැකි බව, පිනින් ම ලැබිය යුතු බව බ්‍ර‍හ්ම ස්කන්ධයන්ගේ සංඛත ස්වභාවයයි. සාමාන්‍ය මිනිසුන් කරන දාන ශීලාදි කාමාවචර කුශල බලයෙන් ද බ්‍ර‍හ්ම ලෝකයට නො පැමිණිය හැකිය. බ්‍ර‍හ්ම ලෝකයට පැමිණිය හැකි වනුයේ ධ්‍යානමය කුශලයෙනි. ඒ ධ්‍යාන කුශලය පහසුවෙන් උපදවා ගත හැකි කුශලයක් නොවේ. ධ්‍යානයක් ලැබිය හැකි වන්නේ, ගම් බිම් ගෙවල් දොරවල් අඹුදරුවන් නෑ මිතුරන් හැර දමා ජනයාගෙන් වෙන්ව අරණ්‍යාදි විවේක ස්ථානයකට එළඹ ලෙස බව දුරු කොට, නින්ද අඩුකොට, ආහාර පානාදිය දුරුකොට, ශීතලයෙන් උෂ්ණයෙන් මැස්සන් මදුරුවන්ගෙන් සාගින්නෙන් පිපාසයෙන් වන්නා වූ අමාරුකම් ගණන් නො ගෙන, ධ්‍යාන වැඩීම ම තමා අයත් ප්‍ර‍ධාන කටයුත්ත කරගෙන දීර්ඝ කාලයක් මුළුල්ලෙහි වීර්ය්‍ය කරන්නා වූ කෙනකුට පමණය. එසේ වීර්ය්‍ය කරන්නවුන් අතුරෙන් ද ඒ ධ්‍යානය ලැබෙන්නේ දහසකින් කෙනකුට පමණය. නවසිය අනූනව දෙනකුගේ උත්සාහය ව්‍යර්ථ වන්නේය.

ධ්‍යාන වඩන්නා වූ තැනැත්තකුට ධන ධාන්‍යාදි වස්තුව අතහැර දමන්නට වීමත් දුකෙකි. අඹු දරුවන් නෑයන් මිතුරන් අත්හැර දමන්නට වීමත් දුකෙකි. හුදකලා වාසයත් දුකෙකි. රිසි සේ ආහාර පාන නො ලැබීමත් දුකෙකි. ඒ අතර යම් යම් දේවල් නැති කමින් වන්නා වූ තවත් දුක් බොහෝය. නො නිදා භාවනාවෙහි යෙදීමත් දුකෙකි. ඉදින් බ්‍ර‍හ්ම ස්කන්ධ පඤ්චකය ධ්‍යාන කුශල බලයෙන් නිපදවීමක් නැතිව, ඉබේ ම ලැබෙන දෙයක් උපදනා දෙයක් වේ නම් බ්‍ර‍හ්මත්වය පතන්නා වූ තැනැත්තා හට ධ්‍යාන උපදවා ගැනීම සම්බන්ධයෙන් වන දුක් රාශිය විඳින්නට නො වන්නේය. ඒ පීඩා රාශිය නො ලැබෙන්නේය.

බ්‍ර‍හ්මස්කන්ධ පඤ්චකය ධ්‍යාන කුශල බලයෙන් උපදවා ගත යුතු වූ සංඛත ධර්ම සමූහයක් නිසා ම බ්‍ර‍හ්මව උපදින්නට බලාපොරොත්තු වන තැනැත්තාට ඒ දුක් රාශිය විඳින්නට වන්නේය. ඒ දුක් රාශිය බ්‍ර‍හ්ම පඤ්චස්කන්ධ නිසා ම පැමිණෙන දෙයක් බැවින් එය බ්‍ර‍හ්ම පඤ්චස්කන්ධය විසින් බ්‍ර‍හ්ම පඤ්චස්කන්ධය පතන්නා වූ තැනැත්තාට කරන පීඩාවක් ම ය. යම් ධර්මයක් සත්ත්වයා හට මහත් වූ පීඩාවක් ගෙන දේ නම් පීඩා කරන්නා වූ පීඩා පමුණුවන්නා වූ ඒ ධර්මය යහපත් දෙයක් නොව දුඃඛයක් ම ය. එබැවින් ධ්‍යාන ඉපදවීම් වශයෙන් මහත් පීඩාවකට හේතු වන, මහත් වූ පීඩාවක් කරන්නා වූ ඒ බ්‍ර‍හ්මපඤ්චස්කන්ධය දුඃඛයකි. මේ සංඛත ස්වභාවය නිසා බ්‍ර‍හ්ම පඤ්චස්කන්ධය දුකක් වන ආකාරය යි.

ධ්‍යාන ඉපදවීමෙහි යෙදවීම් වශයෙන් සංස්කාර දුඃඛයෙන් සත්ත්වයා අනේකාකාරයෙන් ආදියෙහි පෙළා පසුව පහළ වූ බ්‍ර‍හ්ම පඤ්චස්කන්ධයෙහි ස්කන්ධ පඤ්චකය මමය කියා ගැනීම් වශයෙන් පවත්නා වූ සත්කායදෘෂ්ටි ගින්නය, මගේ යයි ගැනීම් වශයෙන් පවත්නා වූ තෘෂ්ණා ගින්නය, බ්‍ර‍හ්ම සම්පත්තියෙන් මත් වීම වූ මද ගින්නය, කුශල පක්ෂය අමතක වීම වූ ප්‍ර‍මාද ගින්නය යනාදි කෙලෙස් ගිනි ජාලා ඇවිලෙන්නට වන්නේය. වරක් ඇවිළගත්තා වූ කෙලෙස් ගින්නක් ඒ සත්ත්වයාගේ සන්තානය ජාති බොහෝ ගණනක් යන තුරුත් දවන්නේය. කෙලෙස් ගින්න මී විෂ වැනි සෙමින් සන්තානය පෙළන දෙයකි. මී විෂ ශරීරගත වූ දා පටන් ම ඒ ශරීරය පෙළන නමුත්, ආදියෙහි ඒ බව නො දැනෙන්නේය. දැනෙන්නට වන්නේ කල්ගත වී අතිශයින් ශරීරය පෙළන්නට වන් විටය. එමෙන් ම ක්ලේශයන් විසින් කරන දැවීම ද පටන් ගැන්මෙහි නො දැනෙන්නේය. තෘෂ්ණා මානාදි කෙලෙස් සත්ත්වයාට පටන් ගැනීමේ දී සොඳ දේ සැටියට ම වැටහෙන්නේය. ඒවායේ රෞද්‍ර‍වීමක් දැවීමක් ඇති බව සත්ත්වයාට වැටහෙනුයේ කෙලෙස් බලයෙන් නරකයට ගෙන ගොස් එහිදී දවන විටය. බ්‍ර‍හ්ම සන්තානයෙන් පැන නගින්නා වූ තෘෂ්ණා මානාදි ක්ලේශාග්නීහු ඒ සත්ත්වයා අපායට ගෙන ගොස් දීර්ඝ කාලයක් දවන්නට තවන්නට සමර්ථයහ. දවන්නා වූ ක්ලේශාග්නීන්ගෙන් යුක්ත බව බ්‍ර‍හ්මස්කන්ධ පඤ්චකයාගේ සන්තාප ස්වභාවය යි. සන්තාප ස්වභාවයෙන් යුක්ත බැවින් එය දුඃඛයකි.

බ්‍ර‍හ්මාණුභාවය කොපමණ මහත් වුව ද, බ්‍ර‍හ්ම සම්පත්තිය කොපමණ මහත් වුව ද, බ්‍ර‍හ්ම ස්කන්ධ පඤ්චකය මහානුභාව සම්පන්න රූපාවචර ධ්‍යාන කුශල බලයෙන් උපන් දෙයක් වුව ද, එහි ද, බිඳී අභාවයට අවසානයට පැමිණීමක් ඇත්තේය. එය විපරිණාම ස්වභාවය යි. ඒ විපරිණාමය නිසා බ්‍ර‍හ්මත්වයට පැමිණ සිටියහුට නැවත පහළ කාම ලෝකයට වැටෙන්නට සිදු වේ. සමහර විට කාම ලෝකයේ දී තව තවත් පහළට වැටෙන්නට සිදුවීමෙන් අවීචි මහා නරකයට පවා පැමිණිය හැකිය. ප්‍රේත ද විය හැකිය. ඌරකු, බල්ලකු, බළලකු, කපුටකු, මැස්සකු, මදුරුවකු, උකුණකු, මකුණකු බවට ද පැමිණිය හැකිය. බ්‍ර‍හ්මත්වයේ සිටි තැනැත්තා හට එසේ ම සිටින්නට ඉඩ නොදී පහතට හෙලීම වනාහි බ්‍ර‍හ්ම ස්කන්ධයන්ගේ විපරිණාම ස්වභාවය විසින් කරන පීඩනයකි. මෙ පමණ මහත් පීඩනයක් කරන විපරිණාම ස්වභාවය ඒ බ්‍ර‍හ්ම ස්කන්ධයෙහි ඇති කල්හි කෙසේ නම් එය දුඃඛයක් මිස යහපත් දෙයක් වේද? නො වේ ම ය. මේ විපරිණාම ස්වභාවයාගේ වශයෙන් බ්‍ර‍හ්ම ස්කන්ධයන්ගේ දුඃඛත්වය දැක්වීම ය. මෙසේ බ්‍ර‍හ්ම ස්කන්ධයෝ පීඩන ස්වභාවය, සංඛත ස්වභාවය, සන්තාප ස්වභාවය, විපරිණාම ස්වභාවය යන දුඃඛ ස්වභාව අතරින් ම යුක්ත වන බැවින් දුඃඛ සත්‍යයට අයත් වන්නාහුය.

දිව්‍ය ලෝකයේ දුඃඛත්වය

පින් බලයෙන් ම මිස නිකම් දෙව්ලොව ඉපදිය නො හැකිය. නිකම් ම නො ලැබිය හැකි බව පින් කිරීමෙන් ම, ලබාගත යුතු බව, දිව්‍ය ස්කන්ධපඤ්චකයේ සංඛත ස්වභාවයයි. දිව්‍යස්කන්ධයන්ගේ මේ සංඛත ස්වභාවය නිසා දෙව්ලොව උපදින්නට කැමති තැනැත්තාට දුක සේ සපයා ගන්නා වස්තුව දන් දෙන්නට සිදු වේ. සිල් රක්නට සිදු වේ. වැඩිමහල්ලන්ට වඳින්ට පුදන්නට වතාවත් කරන්නට ලිං පොකුණු මාවත් විහාර දාගැබ් ආදිය කරන්නට කරවන්නට සිදුවේ. තමාගේ පින් කුඩා වුවහොත් ලැබෙන සම්පත් කුඩා වේය, දුර්වල වේය යන බියෙන් බොහෝ වියදම් කොට මහ දන් දෙන්නට සිදු වේ. එසේ කරන්නට වීමෙන් සමහර විට දුප්පත්ව මුළු ජීවිත කාලයමත් දුකසේ ගත කරන්නට ද සිදුවේ. කොතෙක් පින් කළත් පව් සිදුවුවහොත් අපායට යන්නට වී බලාපොරොත්තු වන දිව්‍යත්වයට පැමිණිය නොහෙන බැවින් පව් සිදු නොවන ලෙස කය වචන සිත යන තුන ආරක්ෂා කර ගන්නට ද සිදුවේ.

පින් කිරීමත් මහත් කරදරයකි. පීඩාවකි. දුකෙකි. පව් සිදු නො වන පරිදි කායාදි ද්වාරත්‍ර‍ය ආරක්ෂා කිරීම ඉතා මහත් කරදරයෙකි. පව් සිදු නො වන සේ රැකෙන්නා වූ තැනැත්තාට ප්‍රීතිවීම සඳහා අන්‍යයන් කරන බොහෝ දේවල් අත්හැර දමන්නට සිදු වේ. ඔහුට රිසි සේ කෑම බීම පවා කරන්නට ද නො ලැබේ. රිසි සේ වස්තුව සපයන්නට ද නො ලැබේ. සමහර විට ඒ ප්‍ර‍තිපත්තිය නිසා ලැබූ වස්තුව ද ආරක්ෂා කර ගන්නට ද නො හැකි වේ. අඹුදරුවන් පෝෂණය කිරීමට ද අපහසු වේ. අසනීපයක් වූ කල්හි ප්‍ර‍තිකාර කර ගැනීමට පවා අපහසු වේ. කොතැනක දී වත් රිසි සේ හැසිරෙන්නට නො ලැබෙන බැවින් ඔහුට ලෝකය සිර ගෙයකි. මෙය දිව්‍යස්කන්ධ පඤ්චකයාගේ කුශල් කොට උපදවා ගත යුතු බව වූ සංඛත ස්වභාවය නිසා දිව්‍යස්කන්ධ පඤ්චකයට ආශා කරන්නා හට ලැබෙන දුක් රාශියයි. දිව්‍යත්වය බලාපොරොත්තු වන්නා ලවා මේ දුක් රාශිය වඳවීම දිව්‍යස්කන්ධ පඤ්චකයෙන් සත්ත්වයාට කරන පීඩනයයි. මෙසේ පීඩා කරන බැවින් ඒ දිව්‍යස්කන්ධ පඤ්චකය ඒකාන්ත දුඃඛයකි.

සත්ත්වයා විසින් දුකින් කළා වූ පින්වල බලයෙන් මරණින් මතු දෙව්ලොව උපන් කල්හි ද ඒ දිව්‍ය ශරීරයෙහි වූ චක්ෂුෂ් ශෝත්‍ර‍ ඝ්‍රාණ ජිහ්වා කාය මන යන ෂඩ් ද්වාරයෙන් රාග ගිනි කඳන් වැදී, ඒ දිව්‍ය සන්තානය දවන්නේය. ඇතැම් විට ද්වේෂාග්නිය ද වැදී දවන්නේය. මෝහාග්නිය ද වැදී දවන්නේය. ඒ කෙලෙස් ගිනි වලින් පසුව ඒ දෙවියා අපායට හෙලා එහිදී ද දවන්නේය. ජාති ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාස යන ගිනි වලින් ද ඒ දිව්‍යස්කන්ධ පඤ්චකය දවනු ලබන්නේය. මෙසේ රාගාදී ගිනි එකොළසකින් දවනු ලැබීම ඒ දිව්‍යස්කන්ධ පඤ්චකයේ සන්තාප ස්වභාවය යි. එකොළොස් වැදෑරුම් ගින්නකින් දවන තවන බැවින් ද දිව්‍යස්කන්ධ පඤ්චකය ඒකාන්තයෙන් ම දුඃඛයෙකි.

දෙවියන්ගේ ස්කන්ධ පඤ්චකය රූපාවචර ධ්‍යාන කුශලයට වඩා බොහෝ සෙයින් හීන වූ, දුර්‍වල වූ කාමාවචර කුශලයකින් උපදවන ලද්දක් බැවින් බ්‍ර‍හ්ම ස්කන්ධ පඤ්චකය පවත්නා කාලයට වඩා ඉතා කෙටි කාලයක් පවත්නේය. කුශල ශක්තිය අවසාන වූ කල්හි බිඳී යාම දිව්‍යස්කන්ධ පඤ්චකයාගේ විපරිණාම ස්වභාවය යි. රුපියලක් දෙකක් වටිනා සුළු දෙයක් නැති වීම පවා දුකක් කණගාටුවක් වන කල්හි වටිනාකම පමණ කළ නො හෙන දිව්‍යාත්මභාවය විනාශ වී යන කල කෙසේ නම් ඉවසිය හැකි දුකක් වන්නේ ද? දිව්‍ය ස්කන්ධයාගේ ඒ විනාශය, එය උතුම් කොට ගෙන එහි ඇලී වාසය කරන්නා වූ දෙවියාට ඉවසිය නො හෙන දුකකි. මරණය ළං වූ කල්හි දෙවියන්ට ඒ බව දත හැකි වන පෙර නිමිති පහළ වෙයි. දෙවියේ ඒ පෙර නිමිති වලින් මරණය ළංව තිබෙන බව දැන ගනිති. එසේ දැනගත් කල්හි ඒ දෙවියාගේ සන්තානය ශෝක ගින්නෙන් දැවෙන්නට වන්නේය. ඒ විපරිණාමය නිසා ම දෙවියාට බොහෝ සෙයින් සිදුවන්නේ පහළට වැටීමට ය.

සමහර විටකදී දෙව් සැප විඳිමින් සිටිනා අතර චුත වී ඒ දෙවිවරු ඝෝර දුක් ඇති නරකයට ද වැටෙති. ප්‍රේත තත්ත්වයට ද වැටෙති. බල්ලන්, සිවලුන්, ඌරන්, කපුටන්, කබරයන් බවට ද පත්වෙති. පණුවන්, උකුණන්, මකුණන් බවට ද පත්වෙති. දිව්‍යස්කන්ධ පඤ්චකය නො බිදෙන ස්ථිර දෙයක් වේ නම් දෙවියන්ට මෙ බඳු විපරීත ස්වභාවයකට පත්වන්නට සිදු නොවේ. එසේ සිදුවන්නේ දිව්‍යස්කන්ධ පඤ්චකයේ විපරිණාම ස්වභාවය නිසා ම ය. මෙසේ විපරීත ස්වභාවයකට පහත් බවට පත් කිරීම දිව්‍යස්කන්ධ පඤ්චකයේ විපරිණාම දුඃඛයෙන් පෙළීම ය. අන්තයෙහි දී මේසා මහත් වූ විපරිණාම දුඃඛයකින් සත්ත්වයා පෙළෙන බැවින් ඒ දිව්‍යස්කන්ධ පඤ්චකය දුකෙකි. මෙසේ සෑම දිව්‍යස්කන්ධපඤ්චකයක් ම පීඩන ස්වභාවය සංඛත ස්වභාවය, සන්තාප ස්වභාවය, විපරිණාම ස්වභාවය යන සතරක් වූ දුඃඛ ස්වභාවයෙන් යුක්ත බැවින් ද එයින් පෙළෙන බැවින් ද දුඃඛ සත්‍යය තත් වූ පරිදි දක්නා වූ තථාගතයන් වහන්සේ දිව්‍යස්කන්ධ සියල්ල, දුඃඛ සත්‍යයට ඇතුළත් කොට වදාළ සේක. මේ දිව්‍ය ලෝකයේ දුඃඛ සත්‍යයයි.

මනුෂ්‍ය ලෝකයේ දුඃඛය

මිනිසත් බව හෙවත් මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය ද දාන ශීලාදි පින්වලින් ම ලැබිය යුත්තකි. නිකම් ම ලැබෙන දෙයක් නො වේ. පින් කොට උපදවා ගත යුතු බව ලබා ගත යුතු බව මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකයේ සංඛත ස්වභාවයයි. ඒ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය මඳ පිනකිනුදු ලැබිය හැකි බැවින් ලබා ගැනීම පිළිබඳ සංස්කාර දුඃඛය, දිව්‍ය බ්‍ර‍හ්ම ස්කන්ධ සම්බන්ධයෙන් වන සංස්කාර දුඃඛය පමණ බරපතල නො වේ. ලැබීම අමාරු මුත් ලැබීමෙන් පසු දිව්‍යබ්‍ර‍හ්ම ස්කන්ධයන් විෂයෙහි කිය යුතු තරමට සංස්කාර දුඃඛයක් නැත. එහෙත් මනුෂ්‍යස්කන්ධ පඤ්චකය නිතර ම සංස්කරණය කළ යුතු නිතර ම අලුත් කළ යුතු දෙයක් බැවින් උපන් පසු ද ඒ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය පිළිබඳ සංස්කාර දුඃඛය මරණය දක්වා ඇත්තේය. එය බරපතල දුකෙකි.

මනුෂ්‍ය ශරීරය හෙවත් රූපස්කන්ධය වහ වහා ගෙවි ගෙවී යන දුබල දෙයකි. එය නිතර ම ආහාර පානාදිය කරණකොට අලුත්වැඩියා කළ යුතුය. ආහාරයෙන් එක් වරක් කරන සංස්කරණය දවසකුදු නො පවත්නේය. එබැවින් මනුෂ්‍යයා ශරීරය පවත්වා ගැනීමට දවසට කීපවිටක් ආහාර ගත යුතුය. ආහාරයෙන් කෙරෙන අනුග්‍ර‍හය නො කෙරුණහොත් මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය බිදෙන්නේය. නැසෙන්නේය. ආහාර සෙවීම සම්බන්ධයෙන් මනුෂ්‍යයාට වන්නා වූ යම් කරදරයක් දුකක් වේ නම් එය සිදුවන්නේ ශරීරයේ නැවත නැවත අළුත් කළ යුතු බව වූ සංඛත ස්වභාවය නිසාය. ශරීර පෝෂණය සඳහා එක් බත් හුලක් ඇති කර ගැනීමට මනුෂ්‍යයා හට දහස් වරක් වෙහෙසෙන්නට සිදු වේ.

ලබන අවුරුද්දේ බත ඇති කර ගැනීමට මේ අවුරුද්දේ පටන් වෙහෙසිය යුතුය. ලබන අවුරුද්දේ බතට ගොවියා විසින් මේ අවුරුද්දේ දී ම බිත්තර වී සකස් කර ආරක්ෂා කර තැබිය යුතුය. වපුරන කාලය ළං වූ කල්හි සී සෑම් ආදියෙන් කුඹුරු සකස් කළ යුතුය. පෝර යෙදිය යුතුය. ඉක්බිති වී වැපිරිය යුතුය. විය පැළවූ තැන් පටන් මාස ගණනක් එය ආරක්ෂා කළ යුතුය. පැසුණු කල්හි කැපිය යුතුය. ඉක්බිති පෑගිය යුතුය. පාගා නැවත ශුද්ධ කළ යුතුය. ශුද්ධ කොට, ගෙවලට ගෙන ගොස් අටු කොටු ආදියෙහි ලා විය ආරක්ෂා කළ යුතුය. නැවත වී තම්බා වියළා කෙටිය යුතුය. පෙළිය යුතුය. සහල් වූ කල්හි සෝදා සැලියෙහි ලා දර සොයා ගිනි මොළවා පිසිය යුතුය. මෙසේ එක් එක් වැඩක් සඳහා සිය ගණන් වාර දහස් ගණන් වාර වෙහෙසිය යුතුය.

මෙතෙක් වෙහෙසී සැපයූ බත ඒ පමණකින් වැළඳිය හැකි ද නොවේ. එය වැළඳිය හැකි වීමට තවත් ව්‍යඤ්ජන පිළියෙල කළ යුතුය. ඒ සඳහා ද බොහෝ වෙහෙසිය යුතුය. තමා විසින් ම ආහාරපාන නො සපයන්නන් විසින් ආහාර පාන සඳහා මුදල් ලබා ගැනීමට නොයෙක් කර්මාන්ත කළ යුතුය.

ආහාර පානයෙන් පමණක් ද මේ මිනිස් සිරුර පැවැත්විය හැකි නො වන්නේ ය. එය පැවැත්වීමට වස්ත්‍ර‍ ද වුවමනාය. වාසය කිරීමට ගෙවල් ද වුවමනා ය. ගෙවල්වලට අනේක උපකරණ ද වුවමනා ය. මනුෂ්‍ය ශරීරය පවත්වා ගැනීමට ඒ සියල්ල සැපයීමට ද බොහෝ වෙහෙසිය යුතුය. මනුෂ්‍යයා හට මේ ස්කන්ධ පඤ්චකය පවත්නා තුරු ම එය නැවත නැවත අළුත්වැඩියා කර ගැනීමට ආහාරපාන වස්ත්‍ර‍ වාසස්ථාන සැපයීම සඳහා වෙහෙසීමට සිදුවන්නේය. ඒ වෙහෙසීම් සියල්ල ම මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකයාගේ නැවත නැවත අලුත් කළ යුතු බව වූ සංඛත ස්වභාවය නිසා වන්නා වූ දුඃඛයෝ ය. මෙය මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය පිළිබඳ වූ සංඛත දුඃඛයයි.

දිව්‍ය ලෝක බ්‍ර‍හ්ම ලෝකයන්හි මෙන් නොව මනුෂ්‍ය ලෝකයෙහි සන්තාප දුඃඛය ද ඉතා මහත් ම ය. මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය පටන් ගැන්මේ පටන් අවසානය දක්වා ම සෑම අවස්ථාවකදී ම අනේක සහස්‍ර‍ දුඃඛයන්ගෙන් තවනු ලැබේ. පටන් ගැන්මේදී මනුෂ්‍යයා හට ඉතා අවහිර වූ මව් කුස විසීම ද මහත් වූ දුකකි. මව් කුසින් බිහිවීම ද ඊටත් වඩා රෞද්‍ර‍ දුකකි. බිහිවී දීර්ඝ කාලයක් ගත වන තුරු ම අනුන්ගේ උපකාරයෙන් ම ජීවත්විය යුතු වූ පරම දුර්වලයෙකුව සිටීම ද මහා දුකකි. මිනිස් ශරීරය කොතරම් ආරක්ෂා කළත් අනේකප්‍ර‍කාර රෝග එහි හටගන්නේය. එද මහත් දුකකි. කොපමණ පවිත්‍ර‍ කළත් එය නැවත අපවිත්‍ර‍ වන්නේය. එද මහත් දුකකි. මිනිස් සිරුර ශීත සෘතු, ශීත ප්‍රදේශවලදී ශීතයෙන් පෙළනු ලැබීම ද දුකකි. උෂ්ණ සෘතු, උෂ්ණ ප්‍රදේශවලදී උෂ්ණයෙන් පෙළනු ලැබීම ද දුකකි. උකුණන් මකුණන් මැස්සන් මදුරුවන් කුහුඹුවන් දිමියන් කඩියන් සර්පයන් විසින් සපනු ලැබීම ද දුකකි. රජුන් විසින් සොරුන් විසින් සතුරන් විසින් වස්තු පැහැර ගනු ලැබීම ද දුකකි. අනුන්ගෙන් නින්දා ලබන්නට වීම ද දුකකි. ගැහුම් කන්නට ලැබීම ද දුකකි. සොරුන් හා සතුරන් හා සටන් කරන්නට වීම ද දුකකි. සතුරන්ට අසුවීම හා සතුරන් යටතට පත්වීම ද දුකකි.

අඹු දරුවන් පෝෂණය කිරීම පිළිබඳ දුක් ද අනන්තය. නෑයන් මිතුරන්ගේ වැඩ ගැන ඇති දුක් ද බොහෝ ය. ගම රට ජාතිය පිළිබඳ කළ යුතු වැඩ ගැන ඇති දුක් ද බොහෝ ය. රාජකාර්‍ය්‍යයන් ඉටුකිරීම පිළිබඳ දුක් ද බොහෝය. මනුෂ්‍යයා හට සමහර විටෙක අහසේ සිට බෝම්බ හෙලන්නා වූ ද, කාලතුවක්කු යන්ත්‍ර‍ තුවක්කු ආදියෙන් දරුණු ලෙස පහර දෙන්නා වූ ද, මොහොතක් තුළ දහස් ගණන් ජනයා මැරී වැටෙන්නා වූ ද මහා සංග්‍රාම භූමීන්ට ද වැද සටන් කරන්නට ද සිදු වන්නේ ය. බෝම්බ හෙළමින් වෙඩි තබමින් දුටුවන් මරමින් ගෙවල් ගිනි තබමින් ගම් පාළු කරමින් සතුරු යුදසෙන් එන කල්හි ගේ දොර හැර දමා වස්තුව හැර දමා හිස් ලූලූ අත පලා යන්නට සිදුවීම ද මහත් දුකෙකි.

එසේ පලා යන්නට සිදු වූ අවස්ථාවලදී වාසයට ගෙයක් නැතිව සයනය කිරීමට පැදුරක් කොට්ටයක් පවා නැතිව, ආහාරයක් නැතිව කල් යවන්නට සිදුවීමත් නො ඉවසිය හැකි දුකකි. යම්කිසි වරදක් කෙළේ යයි කියා අල්වා තැළීම ද සිරකොට තබා බලහත්කාරයෙන් වැඩ කරවනු ලැබීම ද දුකෙකි. තමා වරදක් නො කොට අනුන් කළ වරදවලට අසු වී සිර ගෙවල්වල වැටීම හා මරණු ලැබීම නො ඉවසිය හැකි දුකෙකි. තමාගේ අඹුවන් දරුවන් සහෝදරයන් සහෝදරියන් නෑයන් මිතුරන් අල්වා ගෙන ගොස් ඔවුනට දඬුවම් කරනු බලා සිටීම ද නො ඉවසිය හැකි දුකෙකි. ණය වී මුදල් නැතිව සිටින විට ණය හිමියන් පැමිණ මුදල් ඉල්ලා කරදර කිරීම ද දුකෙකි. ණය ගෙවා ගත නුහුණු කල්හි ණය හිමියන් විසින් පන්නා දමා ගෙවල් දොරවල් අයිතිකර ගැනීම ද නො ඉවසිය හැකි දුකෙකි. අඹු දරුවන් සමඟ මගට බසින්නට වීම ද දුකෙකි.

හදිසියෙන් හට ගන්නා වූ මහ ගිනි වලට අසුවීම ද දුකෙකි. ගම් නියම් ගම් යටකර ගලා යන මහා ජලස්කන්ධයන්ට අසුවීම ද දුකෙකි. දුර්භික්ෂ කාල එළඹ නිරාහාරව සිටින්නට වීම ද දුකෙකි. යම්කිසි විපතක ලකුණු දුටු කල්හි හටගන්නා සිත් තැවීම ද දුකෙකි. තමහට වුවමනා දෑ ලබාගන්නට නො හැකිවීම ද දුකෙකි. නො දැනීම නිසා හෝ යම් යම් අඩු පාඩු පිරිමසා ගැනීමට හෝ පව් කරන්නට සිදුවීම ද දුකෙකි. ෂඩ්ද්වාරයෙන් වැද දැල්වෙන රාගාදි කෙලෙස් ගිනි වලින් දැවීම ද දුකෙකි. ප්‍රිය වස්තූන්ගෙන් ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීම ද දුකෙකි. මේ කියන ලද්දා වූ දුක්වලින් ද මෙහි නො කියවුණු තවත් දුක්වලින් ද මනුෂ්‍යස්කන්ධ පඤ්චකය පවත්නා තෙක් ම දැවෙන්නේය. තැවෙන්නේය. මේ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය පිළිබඳ වූ සන්තාප ස්වභාවය යි.

දිව්‍ය බ්‍ර‍හ්මයන්ගේ ස්කන්ධයන්ට මෙන් නොව මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකයට විපරිණාමය හෙවත් විනාශය ද වහා පැමිණෙන්නේ ය. මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය ඉතා දුබල දෙයකි. කෝප වූ කල්හි දිවි නසන්නා වූ සතුරෝ මනුෂ්‍යයාගේ ශරීරය තුළ ද බොහෝය. ඔවුහු අවට ද පිරී පවතිත්. ශරීරාභ්‍යන්තරයෙහි වූ වාතය කිපීමෙන් ද මනුෂ්‍ය ජීවිතය ඇසිල්ලක දී විනාශ වී යා හැකිය. පිත කිපීමෙන් ද විනාශ වී යා හැකිය. සෙම කිපීමෙන් ද විනාශ වී යා හැකිය. ශරීරයෙහි ඒ ඒ තැන්වල වෙසෙන පණුවන්ගේ කෝපයෙනුදු ජීවිතය විනාශ විය හැකිය. ශරීරයෙහි වූ පෘථිවි ධාතුව කිපීමෙන් ද ජීවිතය විනාශ විය හැකිය. ආපෝ ධාතුව කිපීමෙන් ද විනාශ විය හැකිය. තේජෝ ධාතුව කිපීමෙන් ද විනාශ විය හැකිය. වායෝ ධාතුව කිපීමෙන් ද විනාශ විය හැකිය. බත්පැන් නොලැබීමෙන් ද විනාශ විය හැකිය. ජීවිතයාගේ පැවැත්මට අතිශය උපකාරක දෙය වූ ආහාරය කරණකොට ගෙන ද විනාශ විය හැකිය. මේ වා පිත් සෙම් ආදිය මනුෂ්‍ය ශරීරාභ්‍යන්තරයෙහි ම පවත්නා වූ ජීවිත නාශක සතුරෝ ය.

මනුෂ්‍යයා අවට සිටින්නා වූ අවිඤ්ඤාණක වූ ද, සවිඤ්ඤාණක වූ ද සතුරන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේය. දිය ගිනි සුළන් ගල් මුල් හුල් කටු විෂ ආදිය මනුෂ්‍යයා අවට පවත්නා වූ අවිඤ්ඤාණක සතුරෝ ය. සමහර විටෙක උතුම් පිහිටක් කොට සලකාගෙන සිටින ගෙය පවා මිනිසා නසන සතුරෙකි. දිය ගොඩ දෙක්හි හැසිරෙන යම් පමණ කිඹුල්, මෝරු, සර්ප, සිංහ, ව්‍යාඝ්‍ර‍, අලි, වලස් ආදි නපුරු සත්ත්වයෝ වෙත් ද ඔවුහු සියල්ලෝ ම මනුෂ්‍යයන්ගේ සතුරෝ ය. යක්ෂ ප්‍රේතාදි අදෘශ්‍යමාන සතුරෝ ද බොහෝ ය. මනුෂ්‍යයා ම ද මනුෂ්‍යයා හට පරම සතුරෙකි. එක් එක් මනුෂ්‍යයකු හට මනුෂ්‍යයන්ගෙන් ඉතා ටික දෙනකු හැර අන් හැම දෙන ම සතුරෝ ය. ඔවුන් විසින් කිසි විනාශයක් නො කරන්නේ මිත්‍ර‍ත්වයක් නිසා නොව සතුරුකම් කිරීමට අනවකාශ නිසා ය. නෑයන් මිතුරන් හැටියට සලකාගෙන සිටින ටික දෙනා ද සමහර විටෙක සතුරු ද වෙති. එබැවින් ලෝකයෙහි දරුවන් විසින් මව්පියන් නැසීම ද, මව්පියන් විසින් දරුවන් නැසීම ද, සහෝදර සහෝදරියන් විසින් සහෝදර සහෝදරියන් නැසීම ද, අඹුවන් විසින් සැමියන් නැසීම ද, සැමියන් විසින් අඹුවන් නැසීම ද නොයෙක් විට සිදු කෙරේ.

මෙසේ ඇතුළත පිටත දෙක්හි ම බොහෝ සතුරන් ඇති මිනිස් ජීවිතය තණ අග පිනි බිඳක් වැනිය. දිය බුබුලක් වැනිය. එය විනාශ නො විය හැකි දිනයක් පැයක් මොහොතක් නැත. විනාශය නොවිය හැකි යයි කිය හැකි අවස්ථාවක් ද නැත. මෙලොව එළිය නො දැක ම මව්කුස තුළදී ම ද මනුෂ්‍යයා මිය යන්නේ ය. මව් කුසයෙන් බිහිවීමේ දී ද මිය යන්නේ ය. බිහි වී දින ගණනකින් ද මිය යන්නේ ය. මාස ගණනකින් ද මිය යන්නේ ය. ළමා කාලයේ දී ද මිය යන්නේය. තරුණ කලදී ද මිය යන්නේය. මේ කාලයේ දී අන්තරායක් නැත යයි සැනසී සිටීමට කාලයක් මනුෂ්‍යයා හට නැත්තේය. එය මහත් දුකෙකි.

අඹු දරු ආදි තමන්ගේ ප්‍රියයන්ගේ විනාශයෙන් ශෝක කරන්නට කදුළු වගුරවන්නට සිදුවන අවස්ථා ද මනුෂ්‍යයා හට බොහෝ ය. ප්‍රියයන් අතුරෙන් යම් කිසිවකුට මරණය වේය යි සැක කිරීමට කරුණක් පැමිණි කල්හි ද මහත් වූ චිත්ත දුඃඛයක් වන්නේය. තමාගේ ජීවිතයට හානියක් වේය යි සිතිය හැකි කරුණක් පැමිණි කල්හි වන්නා වූ භයත් සෝකයත් මහත් වූ දුකෙකි. ඒකාන්තයෙන් ම ජීවිතය නැසෙන බව දැනගත හොත් ඒ අවස්ථාවෙහි හට ගන්නා වූ භය හා ශෝකය මුළු ශරීරය ම දා යන තරම් ය. ශරීරයෙහි හට ගන්නා වූ මාරාන්තික වේදනාව ද මහා දුකෙකි.

මනුෂ්‍යස්කන්ධ පඤ්චකයාගේ මේ විපරිණාමය නිසා මනුෂ්‍යව සිටි සත්ත්වයා හට විටෙක උකුණකු මකුණකු පණුවකු ඌරකු බල්ලකු වන්නට ද සිදු වන්නේ ය. ගොනකු අසකු ඇතකු වී අනුන්ට වැඩ කරන්නට ද සිදු වන්නේ ය. වාසයට ගෙයක් නැති, හඳනට වතක් නැති, සාගින්නට බත් නැති, පිපාසයට පැනක් නැති, සෙම් සොටු අවුලා කන, අසුචි අවුලා කන, කසල ගොඩවල වැසී තිබෙන බත් හුලු අහුලා කන, ප්‍රේත බවට පැමිණෙන්නට ද සිදු වන්නේ ය. පරම රමණීය මන්දිරයන්හි සුවපහස් ඇති ඇඳ පුටුවල විසූ මිනිසාට සංජීවාදි නරකයෙහි ඉපිද ගිනියම් වූ යපොළොවෙහි ගිනි දලු මැද හඬ හඬා සිටින්නට ද සිදු වන්නේ ය.

විපරිණාමය සමහර විටෙක ස්කන්ධ පඤ්චකයට ම එකවර පැමිණේ. සමහර විටෙක ස්කන්ධයන්ගේ කිසියම් කොටසකට පැමිණේ. ස්කන්ධ කොටසකට විපරිණාමය පැමිණීමෙන් කලින් ඇස් ඇතිව සිටියෝ පසුව අන්ධ වෙති. කලින් නො බිහිරිව සිටියෝ පසුව බිහිරි වෙති. කලින් නො ගොළුව සිටියෝ පසුව ගොළු වෙති. කලින් නො කොරව සිටියෝ පසුව කොර වෙති. කලින් නො කුදුව සිටියෝ පසුව කුදු වෙති. අංගප්‍ර‍ත්‍යංග ඇතිව සිට පසුව කන් නැත්තෝ ද නාස් නැත්තෝ ද දත් නැත්තෝ ද හිසකේ නැත්තෝ ද ඇඟිලි නැත්තෝ ද අත් නැත්තෝ ද පා නැත්තෝ ද වෙති. කලින් සුරූපව සිටියෝ ද පසුව විරූප වෙති. නුවණැතිව සිටියෝ මෝඩයෝ වෙති. සිහි ඇතිව සිටියෝ උමතු වෙති. කලින් සිල්වත්ව සිටියෝ පසුව වැද්දෝ ද වෙති, කෙවුලෝ ද වෙති, සොරු ද වෙති, පාරදාරික සල්ලාලයෝ ද වෙති, බොරු කාරයෝ ද බේබද්දෝ ද කේලාම් කාරයෝ ද පරුෂ වචන කියන්නෝ ද වෙති. මිතුරෝ සතුරෝ වෙති. සම්‍යක් දෘෂ්ටිකයෝ මිසදිටු වෙති.

මනුෂ්‍ය ස්කන්ධ විෂයෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඇලුම් කරන මනුෂ්‍යයන් ඇයත් වූ ධන ධාන්‍යාදි වස්තු විෂයෙහි ද විපරිණාම ස්වභාවය ඇත්තේය. මනුෂ්‍යයා සම්බන්ධ වූ ඒ බාහිර වස්තූන්ගේ විපරිණාමයෙන් ද මනුෂ්‍යයාගේ තත්ත්වය බොහෝ වෙනසට පැමිණේ. වස්තු විනාශයෙන් කලින් රජකම් කළවුන්ට සිඟා කෑමට ද සමහර විට සිදු වන්නේය. මේ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය පිළිබඳ වූ විපරිණාම දුඃඛයෙන් බිඳක් දැක්වීමය. මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය මෙසේ සංඛත, සන්තාප, විපරිණාම යන ත්‍රිවිධ ස්වභාවයෙන් සත්ත්වයා පෙළන බැවින් සිව්සස් දත්තා වූ තථාගතයන් වහන්සේ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය සත්‍ය වශයෙන් ම දුකක් බව හෙවත් දුඃඛ සත්‍යය බව වදාළ සේක.

අපාය දුක්ඛය

නරකය, තිරිසන් අපාය, ප්‍රේත අපාය, අසුර අපාය යයි අපාය සතරෙකි. අපාය දුක් බව ප්‍ර‍සිද්ධ කාරණයකි. එසේ ම සියල්ලන් විසින් ම පිළිගන්නා වූ ද කාරණයකි. එබැවින් මෙහි අපාය දුඃඛය පිළිබඳ සංක්ෂේප විස්තරයක් ම කරනු ලැබේ. ආපායිකසත්ත්වයන්ගේ ස්කන්ධයෝ අකුශල කර්මයන්ගෙන් නිර්මිත ය. පෘථග්ජන සත්ත්වයන්ගේ සිත ස්වභාවයෙන් ම පවෙහි ඇලෙන්නේ ය. එබැවින් පෘථග්ජන සත්ත්වයා හට පව මිහිරි දෙයකි. එබැවින් ආපායික ස්කන්ධ පඤ්චකය පිළිබඳ මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්මයන්ගේ ස්කන්ධයන් පිළිබඳව මෙන් සංඛත්වය පිළිබඳ දුඃඛයාගේ මහත් බවෙක් නො කිව හැකිය. සංඛත දුඃඛය මහත් නුවූයේ ය. ආපායික ස්කන්ධ විෂයෙහි සන්තාප දුඃඛය ඉතා මහත් ය.

තිරිසන් අපාය

අපාය සතර අතුරෙන් තිරිසන් අපාය වනාහි අප ඇස හමුවෙහි ම තිබෙන දෙයකි. එහි දුක ඉතිරි අපායන්හි දුක පමණ මහත් නො වෙතත්, මනුෂ්‍ය ස්කන්ධයන් පිළිබඳ දුඃඛයට වඩා අතිශයින් මහත් ය. ඒ තිරිසන් සත්ත්වයන් හට ආහාර පාන සපයා ජීවත් වන්නට තරම් සිහි නුවණ නැත. ස්වභාව ධර්මයෙන් ඉබේ ම ආහාර පාන නො ලැබුණ හොත්, ඔවුනට සාගින්නෙන් පිපාසයෙන් පෙළෙන්නට වන්නේ ය. සමහර විට වියළී මැරෙන්නට ද සිදු වන්නේ ය. ලෝකයෙහි සාගින්නෙන් පිපාසයෙන් මියයන තිරිසනුන් ඉතා බොහෝ ය. වාසස්ථානයක් පිළිවෙළ කර ගැනීමට නුවණ නැතිව ඔවුහු අව්වෙන් වියළෙමින් වැස්සෙන් තෙමෙමින් දිවි ඇති තෙක් ම දුක්වන්නාහ. ඔවුනට සතුරෝ ද ඉතා බොහෝ ය. සතුරන් මැඩලීමට ශක්තියක් හෝ ආරක්ෂකයකු පිහිට වන්නකු හෝ නැති බැවින් ඔවුහු නිරතුරුව මරණ බියෙන් පෙළෙමින් සැඟවි සැඟවී වාසය කරන්නාහ. රෝගයක් වැළඳුන හොත් තුවාලයක් වුවහොත් එයට ප්‍ර‍තිකාර කර ගැනීමට දැනුමක් ඔවුනට නැත. රෝගයකින් හෝ තුවාලයකින් හෝ දුර්වලව වැටුණු කල්හි, මස් කොටා කෑමට, ඇස් උපුටා කෑමට, ලේ උරා බීමට, එන සතුන් මිස, දිය බිඳක්වත් ගෙනැවිත් දෙන, නෑයෙක් මිතුරෙක් ඔවුනට නැත. මැස්සන් මදුරුවන් විසින් ලේ බොද්දී, කපුටන් මස් කොටා කද්දී, හිවළුන් බල්ලන් විසින් මස් ඉරා අදිද්දී, මල මුත්‍ර‍ ගොඩේ වැටී බොහෝ තිරිසන් සත්ත්වයෝ මිය යෙති. ජීවිතය ආරක්ෂා කර ගැනීමට කොතෙක් දිව්වත් කොතෙක් සැඟවුනත් බලවත් සතුන්ගෙන් ද බොහෝ තිරිසන් සතුන්ට ගැලවෙන්නට නුපුළුවන. බලවත් සතුන් විසින් අල්ලා ඔවුහු හඬව හඬවා පණ පිටින් ම ගිලිනු ලැබෙත්. දෙපයින් පාගා ගෙන හඬව හඬවා මස් ඉර ඉරා කනු ලබති. මනුෂ්‍යයන් විසින් ද බොහෝ සතුන් මරා කනු ලබති. මව බලා සිටියදී බලයෙන් පැටවුන් ගෙන මරා කනු ලබති. ගිනියම් වූ යකඩවලින් ගවයන් පුළුස්සනු ලබති. මිනිස්සු බොහෝ සතුන් විනෝදය පිණිස ජීවිතාන්තය දක්වා සිරකර ගෙන බැඳගෙන සිටිති. ගවාදි සතුන් අල්වා බැඳ තබා ගෙන ජීවිතාන්තය දක්වා තළමින් කෙවිටිවලින් අනිමින් ඔවුන් ලවා වැඩ කරවති. දීර්ඝ කාලයක් මෙසේ වැඩ ගෙන සමහර විට අන්තිමේදී මරා මස් ද කති. මේ තිරිසනුන් විෂයෙහි ඇත්තා වූ සන්තාප දුක් වලින් ස්වල්පයකි. හොඳ නොහොඳ පින් පව් දතහැකි නුවණ නැත්තා වූ තිරිසන් සත්ත්වයා ජීවත්වන තාක් කරන්නේ ද පව් ම ය. එබැවින් මරණින් මතු ඌට පැමිණෙන්නට වන්නේ ද වඩාත් දරුණු දුක් ඇති අපායකට ය. එබැවින් තිරිසන් සතාට ජීවත්වීම පමණක් නොව මරණය ද මහත් වූ දුකකි. ඉපදීමය ජීවත්වීමය මරණය යන තුන ම ඒ සත්ත්වයන් හට මහත් වූ දුක් ම වන්නේ ය. එබැවින් තිරිසන් ස්කන්ධ පඤ්චකය දුඃඛ සත්‍යය වන්නේය.

ප්‍රේත අපාය

ප්‍රේතයෝ වනාහි තිරිසනුන් විඳිනා දුකට වඩා අතිශයින් මහත් වූ දුකට පත්ව සිටින සත්ත්ව වර්ගයෙකි. බොහෝ සෙයින් ඔවුන්ගේ උත්පත්තිය සිදුවනුයේ ඕපපාතික වශයෙනි. අහසෙහි විදුලියක් පහළ වන්නාක් මෙන් ද, කැඩපතක ඡායාරූපයක් පහළ වන්නාක් මෙන් ද, මවකු පියකු නො මැතිව, කර්ම බලයෙන් සර්වාංග ප්‍ර‍ත්‍යංග සම්පූර්ණව පහළවීම් වශයෙන් සිදුවන උත්පත්තියට ඕපපාතික උත්පත්තියයි කියනු ලැබේ. මව්පියන් නිසා උපදනා වූ සත්ත්වයන්ගේ ශරීර විෂයෙහි මව්පියන්ගේ ශරීර ස්වභාවය ම බලපවත්වන්නේය. එබැවින් එසේ උපදනා වූ සත්ත්වයෝ මව්පියන්ට සමාන වූ ශරීර ඇත්තෝ වන්නාහ.

ඕපපාතික වශයෙන් උපදනා වූ සත්ත්වයන්ගේ ශරීර කෙරෙහි කර්මය බලපවත්වන්නේය. එබැවින් ඕපපාතිකව උපදනා වූ ප්‍රේතයෝ ඔවුන්ගේ පාපකර්මයට අනුරූප පරිදි කුඩා වූ ද මහත් වූ ද නොයෙක් ආකාර වූ ද ශරීර ඇත්තෝ වෙති. ජාතියක් වශයෙන් ප්‍රේතයන්ගේ සැටි මෙසේය කියා දැක්විය නොහේ. කුඩා වූ ද මහත් වූ ද නොයෙක් ආකාර රූප ඇති නොයෙක් ආකාර දුක් ඇති ප්‍රේතයන් ඇති බව ප්‍රේතවස්තු ප්‍ර‍කරණාදියෙන් දත හැකිය. ඔවුන්ගේ තත්ත්වය ගැන මඳ අවබෝධයක් ඇති කර ගත හැකි වීමට “ලක්ෂණ සංයුක්තකයෙහි” එන ප්‍රේතයන් ගැන මෙහි සඳහන් කරනු ලැබේ. ප්‍රේතයන් දැකිය හැකි වන්නේ දිවැස් ඇත්තවුන්ට පමණකි. දිවැස් ඇත්තා වූ “ලක්ඛණ මහරහතන්” වහන්සේ විසින් ගිජුකුළු පව්ව සමීපයෙහි දී දක්නා ලද ප්‍රේතයන් එක්විසි දෙනකුන් ලක්ඛණ සංයුක්තයෙහි දී දක්වා තිබේ.

(1) ඔවුන්ගෙන් එකෙක් ලේ මස් නැති ඇටසැකිළි ප්‍රේතයෙකි. ප්‍රේතවර්ගයට ම අයත් වූ කවුඩන් විසින් ද ගිජුලිහිණියන් විසින් ද උකුස්සන් විසින් ද ලුහුබැඳ ඉලඇට අතුරින් කොටනු ලබමින් හෙතෙමේ බැගෑපත් හඬින් හඬ හඬා අහස්හි ගමන් කරන්නීය. (2) කවුඩු ආදීන් විසින් ලුහුබැඳ කොටා කනු ලබන ඇට නැති මස් වැදැල්ලක් බඳු වූ ශරීරය ඇති එක් ප්‍රේතයෙකි. (3) එබඳු ම මස් පිඩක් වැනි ශරීරයක් ඇති එක් ප්‍රේතයෙකි. (4) මුළු ශරීරයෙහි කොතැනක වත් සම නැත්තා වූ එක් ප්‍රේතයෙකි. (5) තමාගේ ශරීරය ම නැවත නැවත කැපෙන කඩුවකට බඳු ලොම් ඇඟ පුරා ඇති එක් ප්‍රේතයෙකි. (6) තමන්ගේ ශරීරය ම නැවත නැවත කැපෙන සැත් බඳු ලොම් ඇති එක් ප්‍රේතයෙකි. (7) තමාගේ ශරීරයෙහි ම නැවත නැවත ඇනෙන හී බඳු ලොම් ඇති එක් ප්‍රේතයෙකි. (8) ශරීරයෙන් ගැලවී අහසට නැඟ නැවත ඔහුගේ ශරීරයට වැටී ඇනෙන ඉදිකටු බඳු ලොම් ඇති තවත් ප්‍රේතයෙකි. ඒ ඉදිකටු ඔහුගේ හිසෙහි ඇනී මුඛයෙන් නික්මෙයි. මුඛයෙන් පිවිස ළයෙන් නික්මෙයි. ළයෙන් පිවිස බඩෙන් නික්මෙයි. බඩින් පිවිස දෙකලවායෙන් නික්මෙයි. කලවා දෙකින් පිවිස හිසින් කකුලින් නික්මෙයි. හිසින් කකුලෙන් පිවිස පත්ලෙන් නික්මෙයි. ඒ ප්‍රේතයා වේදනාවෙන් නිතර ම අඬයි. (9) මහ කළයක් පමණ විශාල අණ්ඩයක් ඇත්තා වූ එක් ප්‍රේතයෙකි. ඌ යන කල්හි එය කර තබාගෙන යයි. හිඳිනා කල්හි එය මතුපිට හිඳ ගනී. (10) හිසත් සමඟ ම අසූචි වළෙක එරී සිටින එක් ප්‍රේතයෙකි. (11) අසූචි වළෙක එරී සිට දෑතින් අසූචි අනුභව කරන එක් ප්‍රේතයෙකි. (12) කවුඩු ගිජු ලිහිණි ආදීන් විසින් කොටා කනු ලබන සම නැති එක් ප්‍රේතයෙකි. (13) කවුඩු ගිජු ලිහිණි ආදීන් විසින් කොටා කනු ලබන දුර්ගන්ධ වූ විරූප වූ එක් ප්‍රේතයෙකි. (14) ගිනි අඟුරු මැද දැවෙමින් හඬන එක් ප්‍රේතයෙකි. (15) කවුඩු ගිජු ලිහිණි ආදීන් විසින් ලුහුබැඳ කොටනු ලබන හිස නැති ළයෙහි ම කට හා ඇස් ඇති ප්‍රේතයෙකි. (16) ගිනිගෙන දිලිසෙන පා සිවුරු දරා සිටින එක් භික්ෂු ප්‍රේතයෙකි. (17) එබඳු ම වූ භික්ෂුණී ප්‍රේතියකි. (18) එබඳු ම ශික්ෂමානා ප්‍රේතියකි. (19) සාමණේර ප්‍රේතයෙකි. (20) සාමණේරී ප්‍රේතියකි. මේ ලක්ඛණ තෙරුන් වහන්සේ විසින් දක්නා ලද ප්‍රේතයෝ ය. තවත් නොයෙක් ආකාර දුක් ඇති නොයෙක් ආකාර ශරීර ඇති බොහෝ ප්‍රේතයෝ වෙති. ආහාර පාන නොලැබීම, ඇඳුම් - පැළඳුම් නොලැබීම, වාසය කිරීමට ගෙවල් නැති බව, ගින්නේ දැවීම, දිවි හිමියෙන් ම කිසි තැනකට යා නො හෙන පරිදි අසූචි වළවල් ආදියෙහි එරී සිටීම, ආයුධ වලින් කැපීම, සතුන් විසින් කනු ලැබීම යනාදිය ප්‍රේත විෂයෙහි ඇත්තා වූ සන්තාප දුඃඛයෝ ය. කියන ලද දුඃඛයන්ගෙන් දිවි හිමියෙන් පෙළනු ලබන බැවින් ප්‍රේතස්කන්ධ පඤ්චකය දුක්ඛ සත්‍යය වන්නේය.

අසුර අපාය

අසුරයෝ කීප වර්ගයකි. අපායට අයත් අසුරයෝ ප්‍රේතයන් වැනි සත්ත්ව විශේෂයකි. ඔවුහු තුන් ගව් පමණ ශරීර ඇත්තෝ ය. ඔවුනට ඇත්තේ ඉදිකටු මලක් පමණ වූ කුඩා කටකි. එය පිහිටා තිබෙන්නේ ද හිස මුදුනේය. කට කුඩා බැවින් ඔවුන්ට කවදාවත් සා ගින්න හා පිපාසය නිවා ගන්නට නො ලැබෙන්නේය. ආහාර නො ලැබෙන්නා වූ ඒ සත්ත්වයෝ ලේ මස් නැතිව වියළුණු ඇටසැකිලි බඳු ශරීර ඇත්තෝ ය. ඉස්සන්ගේ ඇස් මෙන් ඉදිරියට නෙරා ගිය ඇස් ඇත්තෝය. අතිශයින් දුර්වල වූ ඔවුනට නැගිටීමට තරම්වත් ශක්තිය නැත්තෝය. මේ අසුරයන්ට “කාලකඤ්ජික ප්‍රේතයෝ” ය යි ද කියනු ලැබේ. උපන් තැන් පටන් මරණය දක්වා වර්ෂ දහස් ගණන් මුළුල්ලෙහි ඔවුන්ට ඇත්තා වූ සා පිපාසාදියෙන් නිරතුරු පෙළීම වූ දුඃඛය ඒ ස්කන්ධයන් නැතහොත් නො වන්නේය. අසුර ආත්ම භාවය පිළිබඳ වූ පඤ්චස්කන්ධය පවත්නා තෙක් ඔවුහු ඒ දුඃඛයෙන් නො මිදෙන්නාහු ය. එබැවින් අසුර පඤ්චස්කන්ධය ද දුඃඛ සත්‍යය වන්නේ ය

නරකය

දුක් ඇති තැන් වලින් ඉතා ම රෞද්‍ර දුක ඇති තැන නරකය යි. නරකයෝ බොහෝ ගණනකි. ඒ ඒ නරකයන්හි නොයෙක් ආකාර වූ භයානක දුක් ඇත්තේය. ගින්නෙන් දවනු ලැබීම, ගිනියම් වූ යපොළොවෙහි තබා හුල් ගසනු ලැබීම, වෑ පොරෝ ආදියෙන් ශරීරය කපනු ලැබීම, කඳක් සේ දැලි නූල් ලා කියතින් කපනු ලැබීම, ලෝදිය (හුණු වූ තඹ) පෙවීම, ගිනියම් වූ යගුලි ගිල්වීම, පෙරළෙන පර්වත වලින් යට කොට අඹරනු ලැබීම, ද්වාරයන්ගෙන් ශරීරය ඇතුළට වැද දමනු ලබන දුම් වලින් ශරීරය තවනු ලැබීම, ලොහොතුඩු ඇති කවුඩු ගිජුලිහිණි ආදීන් විසින් කොටා ඇඟ මස් කඩා ගනු ලැබීම, ගවයන් මෙන් කරත්තවලට බැඳ බර අදවනු ලැබීම, දැලිපිහියා මෙන් කැපෙන තණ හා කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් ද ඇත්තා වූ ප්‍රදේශයන්හි මුළු සිරුරට කැපෙන තුරු ඒ මේ අත දුවවීම, මුළු සිරුරම කැපී ලේ තැවරුණු මස් කැබැල්ලක් මෙන් වූ කල්හි කරදිය ගංගාවලට ඇද දමන් ලැබීම, නිරි සතුන්ගේ සම විද, මස් විද, ඇටමිදුලු, කන්, පුවක් ගස්, පොල් ගස්, කිතුල් ගස් පමණ ලොහො තුඩු ඇති මහ පණුවන් වෙසෙන, කැකෑරෙන අසුචි වලවලට ඇද දැමීම යනාදිය නරකයෙහි ඇත්තා වූ දුක්වලින් සමහරෙකි.

නරකයෙහි දුඃඛය සර්වාකාරයෙන් කියතහොත් කෙනකු විසින් අවුරුදු සියයක් මුළුල්ලෙහි කියා ද දහසක් මුළුල්ලෙහි කියා ද අවසානයට පැමිණ විය නො හැක්කේය. එක දවසක් බුදුරජාණන් වහන්සේ නරක දුඃඛයාගේ මහත්ත්වය දැක්වීමට උපමා ද සුලභ නො වන බව වදාළ සේක. එකල්හි එක් භික්ෂුවක් නරක දුඃඛයාගේ මහත්ත්වය උපමාවකින් වදාරනු මැනවයි සැළ කෙළේය. බුදුරජාණන් වහන්සේ ද උපමාවකින් නරක දුඃඛය දක්වා වදාරන සේක් “මහණෙනි! රාජපුරුෂයෝ සොරකු අල්වා රජු ඉදිරියට ගෙන ගොස් ‘දේවයන් වහන්ස! මොහු සොරෙක, මොහුට කැමති දඬුවමක් නියම කරනු මැනවැ’යි කියන්නාහ. රජ තෙමේ ඔවුනට ‘මේ සොරා ගෙන ගොස් උදෑසන ඔහුගේ ශරීරය සිදුරුවන සේ යහුල් පහර සියයක් අනිව්’ යයි කියන්නේය. රජ අණ පරිදි ඔහුට රාජපුරුෂයෝ යහුල් පහර සියයක් අනින්නාහුය.

ඉක්බිති රජ තෙමේ දවල් කාලයේ සොරාට කුමක් වී දැයි අසන්නේය. රාජපුරුෂයෝ ‘දේවයන් වහන්ස සොරා ජීවත්ව සිටින්නේය’ යි කියන්නාහු ය. එකල රජතෙමේ දවාලෙහි ද නැවත සොරුට යහුල් සියයක් අණින්නට අණ කරන්නේය. රජතුමා සවස් කාලයෙහි ද සොරා ගැන අසන්නේය. රාජපුරුෂයෝ ‘සොරා තවම ජීවත් වන්නේය’ යි රජුට කියන්නෝය. රජතුමා නැවත සවසත් ඔහුට යහුල් පහර සියයක් අනින්නට නියම කරන්නේ ය. රාජපුරුෂයෝ ඔහුට සවස ද යහුල් පහර සියයක් අණින්නාහු ය. කිමෙක්ද මහණෙනි! ඒ පුරුෂයා යහුල් පහර තුන් සියයක් ඇණුම් කෑමෙන් දුකට දොම්නසට පත්වූයේදැ” යි විචාළ සේක. එකල්හි භික්ෂූහු “ස්වාමීනි! එක යහුල් පහරකින් ම ඔහුට දුකක් දොම්නසක් වන්නේ ය. යහුල් පහර තුන් සියයකින් මහත් වූ දුකක් දොම්නසක් වන බව කියනුම කවරේදැ” යි සැළකළාහු ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුඩා වූ ගල් කැටයක් අතට ගෙන “මහණෙනි! මා විසින් ගන්නා ලද කුඩා වූ ගල් කැටයෙනුත් හිමාලය පර්වත රාජයාගෙනුත් කවරක් වඩා මහත් වන්නේදැ” යි විචාළ සේක. භික්ෂූහු “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ විසින් ගන්නා ලද ගල් කැටය හිමාලය පර්වතයෙන් දහසින් පංගුවකුදු නො වන්නේය. දස දහසින් පංගුවකුදු ලක්ෂයකින් පංගුවකුදු නො වන්නේය. හිමාලය පර්වතය හා සංසන්දනය කළයුතු දෙයක් ද නො වන්නේය” යි සැළ කළෝය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි! එපරිද්දෙන් ම ඒ පුරුෂයා හට යහුල් පහර තුන් සියයකින් අනිනු ලැබීමෙන් වූ දුක නරකයෙහි දුකින් දහසින් පංගුවකුදු දස දහසින් පංගුවකුදු ලක්ෂයෙන් පංගුවකුදු නොවන්නේ ය. නරක දුඃඛය හා සංසන්දනය කොට කථා කළ යුතු දෙයකුදු නො වන්නේය.” යි වදාළ සේක.

නරකයෙහි පතිත වූ සත්ත්වයන් විසින් ලබන ඒ මහත් වූ දුඃඛය මහත් වූ සන්තාපය ඒ ස්කන්ධ පඤ්චකය නැතහොත් ඔවුනට නො වන්නේය. ඒ ස්කන්ධ පඤ්චකය පවත්නා තුරු ඒ දුක ද පවත්නේය. එබැවින් ඒ දුක නේරයික ස්කන්ධ පඤ්චකයෙන් ම කරන පීඩනයෙකි. තැවීමකි. එබැවින් නේරයික ස්කන්ධ පඤ්චකය ද දුඃඛ සත්‍යය වන්නේය.

මෙසේ භවාග්‍රයෙහි පටන් අවීචි මහා නරකය දක්වා ඇති ලෝකයෙහි ඒ ඒ භූමීන්හි වෙසෙන කුඩා වූ මහත් වූ ද සකල සත්ත්වයන් පිළිබඳ වූ ස්කන්ධයන් “පීළනට්ඨො, සඞ්ඛතට්ඨො, සන්තාපට්ඨො, විපරිණාමට්ඨො” යනුවෙන් දක්වන ලද සත්ත්වයන් පෙළන බව හා තමා ද පෙළෙන බවය, නැවත නැවත උපදවා ගත යුතු බවය, තැවෙන තවන බවය, විනාශ වී යන බවය යන චතුර්විධ දුඃඛ ස්වභාවයෙන් යුක්ත වන බැවින් ඒකාන්තයෙන් දුක් ගොඩක් බව දත යුතුය. ඒ දුටු තැනැත්තේ දැකීමට අතිශයින් දුෂ්කර වූ දුඃඛාර්‍ය්‍ය සත්‍යය දුටුවෙක් වන්නේය.

දුඃඛාර්‍ය්‍ය සත්‍යයාගේ ද්වාදසාකාරය

“තත්ථ කතමං දුක්ඛං අරියසච්චං? ජාති පි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොක පරිදෙව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”

මෙය අභිධර්ම පිටකයෙහි විභඞ්ග ප්‍ර‍කරණයෙහි සච්ච විභංග සුත්තන්ත භාජනීයයෙහි දුඃඛාර්‍ය්‍ය සත්‍යය දැක්වෙන පාඨයයි. (1) ජාතිය, (2) ජරාව, (3) මරණය (4) ශෝකය, (5) පරිදේවය, (6) දුක්ඛය (7) දෞර්මනස්‍යය (8) උපායාසය (9) අප්‍රිය සම්ප්‍රයෝගය, (10) ප්‍රිය විප්‍රයෝගය(11) කැමැති දෑ නොලැබීම, (12) පඤ්චෝපාදානස්කන්ධයෝ ය යන මේ දොළස දුඃඛාර්‍ය්‍ය සත්‍යය බව මෙයින් දක්වනු ලැබේ.

1. ජාති දුක්ඛය

‘ජාති’ යන මේ වචනය අර්ථ රාශියක් දෙන වචනයෙකි. මේ ආර්‍ය්‍ය සත්‍ය කථාවෙහි එයින් අදහස් කරනු ලබන්නේ භවයෙහි පළමු කොට ඉපදීම යන අර්ථය යි. එයින් ද කියැවෙනුයේ, මව්කුස පිළිසිඳ ගන්නා වූ සත්ත්වයන්ගේ පිළිසිඳීමේ පටන් බිහිවීම දක්වා ඇත්තා වූ ද අවශේෂ සත්ත්වයන්ගේ ප්‍ර‍තිසන්ධික්ෂණයෙහි පහළවන්නා වූ ද ස්කන්ධයෝ ය. ඒ ජාතිය දුක් වනුයේ නොයෙක් දුක් වලට හේතු වන බැවිනි.

දුඃඛය වනාහි දුඃඛ දුඃඛය, විපරිණාම දුඃඛය, සංස්කාර දුඃඛය, ප්‍ර‍තිච්ඡන්න දුඃඛය, අප්‍ර‍තිච්ඡන්න දුඃඛය, පර්‍ය්‍යාය දුඃඛය, නිෂ්පර්‍ය්‍යාය දුඃඛය යි අනේකාකාර වේ.

එහි හිසරදය, කන් කැක්කුම, දත් කැක්කුම යනාදි ශරීරයෙහි හටගන්නා වූ වේදනාවෝ ද ප්‍රිය වස්තු විනාශාදියෙන් සිත්හි හට ගන්නා වේදනාවෝ ද දුඃඛ දුඃඛ නමි. සුඛ වේදනාව හෙවත් සිත කය දෙක්හි හට ගන්නා සුවය නැති වී යාමෙන් දුක් වන බැවින් විපරිණාම දුඃඛ නමි. උපේක්ෂා වේදනාව හා අවශේෂ ත්‍රෛභූමික සංස්කාරයන් උදයව්‍යය දෙකින් (ඉපදීම බිඳීම දෙකින්) පීඩිත වන බැවින් සංස්කාර දුඃඛ නමි. කන් කැක්කුම, දත් කැක්කුම, රාගය නිසා වන තැවීම්, ද්වේෂය නිසා වන සිත් තැවීම් ආදිය නො කියා නො දත හැකි බැවින් උපක්‍ර‍මයක් ද නො පෙනෙන බැවින් ප්‍ර‍තිච්ඡන්න දුඃඛ නමි. වැසී පවත්නා දුකය යනු එහි තේරුමයි. දඬු මුගුරු වලින් ගැසීම්, පිහියෙන් ඇනීම්, කඩුවෙන් ගැසීම් ආදියෙන් වන්නා වූ දුඃඛය නො කියා ම දත හැකි බැවින් ද, උපක්‍ර‍මය ප්‍ර‍කට බැවින් ද අප්‍ර‍තිච්ඡන්ද දුඃඛ නමි. ප්‍ර‍කට දුකය යනු එහි තේරුමයි. දුඃඛ දුඃඛය හැර සත්‍යය විභංගයෙහි දැක්වෙන ජාත්‍යාදි සියල්ල ඒ ඒ දුක්වලට වස්තු වන බැවින් පර්‍ය්‍යාය දුඃඛ නමි. දුඃඛ දුඃඛය නිෂ්පර්‍ය්‍යාය දුඃඛ නමි.

ජාතිය දුකය යි කියන ලදනමුත් හුදු ඉපදීම් මාත්‍ර‍ය ම දුකෙක් නො වේ. නරකාදි සතර අපායෙහි ඇත්තා වූ යම් මහත් වූ දුකෙක් වේ නම් ඒ දුක ද සුගතියෙහි ගර්භාවක්‍රාන්ති මූලක දුඃඛාදි යම් දුකෙක් වේ නම් ඒ දුක ද නූපන්න හොත් නො වන්නේය. ඉපදීමෙන් ම වන්නේය. එබැවින් ජාතිය ද ස්වභාවයෙන් දුක නුවූයේ ද දුකට වස්තු භාවයෙන් දුකකැයි කියනු ලැබේ. අපායෙහි දුඃඛය යට කියන ලදි. සුගතියෙහි ගර්භාවක්‍රාන්ති මූලකාදී දුඃඛය මෙසේ දත යුතු.

මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගැබෙක හෝ රන් කරඬුවක නො වේ. ඔහු පක්වාශය මතුයෙහි ආමාශය යට අතුනු වැටි, පිටිකටු දෙකට අතරෙහි වූ අතිශයින් අවහිර වූ ලෝකාන්තරික නරකයක සේ අඳුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්ගන්ධ වාතයෙන් පිරුණා වූ මවු කුස වැසිකිළි වළෙක උපදනා පණුවකු සේ උපදින්නේය, ඉක්බිති ඔහු දස මසක මුළුල්ලෙහි මව් කුස තුළ ම උෂ්ණයෙන් පැසෙමින් අත් පා සැකිළීම් දිගු කිරීම් වලින් තොරව මහත් දුකක් විඳින්නේ ය. මෙය ගර්භාවක්‍රාන්ති මූලක දුඃඛය යි.

ඔහු මව හිඳගන්නා වූ ද නැගිටින්නා වූ ද යන්නා වූ ද නොයෙක් වැඩ කරන්නා වූ ද කාලයන්හි රා සො‍‍ඩෙකු අතට අසු වූ එලු පැටවකු මෙන් ද, අහිකුණ්ඩිකයකු අතට ගත් සර්පයකු මෙන් ද පොඩි වන්නේය. තැළෙන්නේය. ඔහු මව ඇල් දිය බී කල්හි ලෝකාන්තරික නරකයට වැටුණකු මෙන් ද, මව ලුණු ඇඹුල් කෑ කල්හි කැපෙන ලුණු දිය ඇති වේතරණී නරකයට දමනු ලැබුවකු මෙන් ද වන්නේය. මෙය ගර්භපරිහරණ මූලක දුඃඛය යි. ගැබ් මුළා වූ මවට අතිශයින් මෘදු වූ ස්ථානයන්හි වෙදුන් විසින් සැත්කම් කිරීම් ආදියෙන් වන්නා වූ මහත් වූ රිදීම ගර්භ විපත්තිමූලක දුඃඛය යි.

දරුවා බිහිවන කල්හි මව් කුස තුළ ම හටගන්නා වූ කර්මජ වාතයෙන් ළදරුවාගේ ශරීරය හිස යටිකුරු කොට යෝනි මුඛයට වැටෙන සේ පෙරළෙන කල්හි දරුවාට පර්වතයකින් හෙළනු ලැබූවකුට මෙන් මහත් දුකක් වන්නේය. අති සම්බාධ වූ යෝනි මුඛයෙන් නික්මෙන කල්හි සංඝාත නරකයෙහි පෙරළෙන පර්වත දෙක අතරට අසු වූ නිරි සතුන්ට වන්නා වූ දුකට බඳු මහත් දුකෙක් වන්නේය. මෙය විජායන මූලක දුඃඛය යි.

මව්කුසින් බිහි වූ ළදරුවා හට එකෙණෙහි ම නාවා පිරිසිදු කරන කල්හි අලුත හට ගත් වණයකට ලුණු ලා කොස්සකින් උලන කල්හි මෙන් මහත් වූ දුකෙක් වන්නේය. මෙය වහිර් නිෂ්ක්‍ර‍මණ මූලක දුඃඛය යි. හෙවත් පිටවීම හේතු කොට වන දුකය.

ඉපද වැඩිවිය පැමිණීමේන පසු සිය දිවි නසා ගන්නවුන්ට ද, ක්‍රෝධය නිසා හෝ ලෝභය නිසා හෝ ආහාර වර්ජනය කරන්නවුන්ට ද, මිථ්‍යාව්‍ර‍ත සමාදානයෙන් අව්වෙහි සිටීම් කටු ඇතිරිවල හිඳීම් ආදිය කරන්නවුන්ට ද උපදනා දුඃඛය ආත්මෝපක්‍ර‍ම මූලක දුඃඛ නමි.

තැළීම්, කැපීම්, බැඳීම් ආදියෙන් අනුන් විසින් උපදවන්නා වූ යම් දුකක් වේ නම් එය පරෝපක්‍ර‍ම මූලක දුඃඛ නමි. මේ සියලු ම දුඃඛයන්ට ජාතිය හෙවත් ඉපදීම හේතුවන බැවින් ජාතිය දුකෙකි.

2. ජරා දුඃඛය

උපන් සත්ත්වයාගේ ස්කන්ධ පරණවීම දිරීම ජරා නමි. ආත්මභාවය පරණ වූ කල්හි කෙස් ලොම් පැසෙන්නේය. දත් සැලෙන්නේය. ඇඟ රැලි වැටෙන්නේය. දුර්වර්ණ වන්නේය. තල කැලල් හට ගන්නේය. කොරල පිපෙන්නේය. ඇට නහර ඉල්පෙන්නේය. කුදු වන්නේය. ඇස් පෙනුම අඩු වන්නේය. අන්ධ හෝ වන්නේය. කන් බිහිරි වන්නේය. දිවට රස දැනීම මඳ වන්නේය. කළ දෑ කරන්නට තිබෙන දෑ නොයෙක් විට අමතක වන්නේය. නුවණ මඳ වන්නේය. නොයෙක් විට ඔහු රැවටෙන්නේය. වැරදීම් බහුල වන්නේය. ශරීර ශක්තිය අතිශයින් හීන වන්නේය. අත් පා වෙව්ලන්නට වන්නේය. දරුවන්ට පවා අප්‍රිය වන්නේය. ජරාව ස්වභාවයෙන් දුකක් හෙවත් රිදීමක් නොවන නමුත් මේවා නිසා දිරූ තැනැත්තාට කායික වූ ද මානසික වූ ද බොහෝ දුඃඛ වේදනාවෝ වන්නාහු ය. ඒ සියලු දුඃඛ වේදනාවන්ට හේතුව ජරාව ම බැවින් ජරාව ද මහත් වූ දුකක් වන්නේය.

මහලුව දුබලව සිටින්නා හට නිදා සිටි තැනින් නැගිට හිඳ ගැනීම ද හිඳගෙන සිටින තැනින් නැගිටීම ද දුකෙකි. යන කල්හි මඳ දුරක් යෑමෙන් ම වෙහෙසට පත් ව ඔහුට බොහෝ ශාරීරික වේදනා හට ගන්නේ ය. ගමන් කරන්නා වූ දුබල මහල්ලා ඉදිරියට තබන පය බලාපොරොත්තු වූ තැනට නො පැමිණීමෙන් ද ගල් මුල් ආදියෙහි සැපීමෙන් ද නොයෙක් විට බිම ඇද වැටෙන්නේ ය. එසේ වැටුණු අවස්ථාවල දී අත් පා බිඳීම් ආදියෙන් ඔහුට බොහෝ දුක් වන්නේ ය. තමහට වුවමනා දෑ ලබා ගනු පිණිස රැකී රක්ෂාවක් කරන්නට නුපුළුවන් බව ද ඔහුට මහත් දුකෙකි. ආහාරයක් ලද ද ඔහුට රිසි සේ වළඳන්නට නුපුළුවන් බව ද දුකෙකි. තමහට තිබෙන දෑ සොරුන්ගෙන් සතුරන්ගෙන් ආරක්ෂා කරන්නට නුපුළුවන් බව ද දුකෙකි. අමාරුවෙන් සිටින කල්හි අන්‍යයන් විසින් විසුළු කරනු ලැබීම ද දුකෙකි. ආදරයෙන් පෝෂණය කරනු ලැබූ අඹුදරුවන් අකීකරු වීමත්, ඔවුන් විසින් නො සලකා හැරීමත් මහත් දුකෙකි. මේ ආදි ජරාව හේතු කොට ඇත්තා වූ දුක් මහත් රාශියකි.

3. මරණ දුඃඛය

මරණය වනාහි ක්ෂණික මරණය, සංවෘත මරණය යයි දෙ වැදෑරුම් වේ. ක්ෂණයක් පාසා සිදුවන නාම රූපයන්ගේ බිඳීම ක්ෂණික මරණය නමි. පරම්පරා වශයෙන් පැවත එන ස්කන්ධ සමූහයක හෙවත් සත්ත්වයකුගේ ජීවිතේන්ද්‍රියය සිඳී යාම සංවෘත මරණය නමි. ලෝකයේ “මිනිසා මළේය, ළමයා මළේය, ගොනා මළේය,” යනාදීන් කියනු ලබනුයේ ඒ සංවෘත මරණය යි. මේ මරණ දෙක ම දුක් ම වන නමුත් මේ ආර්‍ය්‍ය සත්‍ය කථාවෙහි අදහස් කරනුයේ සංවෘත මරණය යි.

එය ද ආයුක්ෂය මරණය, කර්මක්ෂය මරණය, උභයක්ෂය මරණය, උපච්ඡේදක මරණය යි සිව් වැදෑරුම් වේ. ඒ ඒ ජාතිවලට අයත් සත්ත්වයන් හට ජීවත් විය හැකි කාල ප්‍ර‍මාණයක් ඇත්තේය. ඒ කාල ප්‍ර‍මාණයට ආයුෂයයි කියනු ලැබේ. ඒ කාලය ගෙවෙත් ම ශරීරය දිරා යාමෙන් ඉන් ඔබ්බට ජීවත් විය නො හැකි ව සත්ත්වයෝ මිය යති. ඔවුන්ගේ ඒ මරණයට ආයුක්ෂය මරණය යයි කියනු ලැබේ. අතීත කර්මය ද සත්ත්වයාගේ ජීවත්වීමට එක හේතුවකි. බලවත් වූ කර්මයෙහි සත්ත්වයා බොහෝ කල්හි ජීවත් කරවන ශක්තියක් ඇත්තේ ය. දුර්වල කර්මයන් කෙරෙහි බොහෝ කල් ජීවත් කරවන ශක්තියක් නැත්තේ ය. එබැවින් දුර්වල කර්මවලින් උපන් සත්ත්වයෝ පහන් වැටිය නිරුපද්‍රිතව තිබියදී, වැසි සුළං ආදී බාහිර උපද්‍ර‍වයකුදු නැතිව, තෙල් ඉවර වීම නිසා නිවී යන්නා වූ පහන් මෙන් ආයුෂය ඉදිරියට තිබියදීම කර්ම ශක්තිය ගෙවීමෙන් මිය යෙති. ඒ මරණය කර්මක්ෂය මරණය නමි. ඇතැමෙක් ආයුෂය හා කර්ම ශක්තිය එකවර ගෙවී යාමෙන් මිය යෙති. එය උභයක්ෂය මරණය නමි. ඇතැමෙක් ආයුෂය කර්මය යන දෙක ම තිබිය දී හදිසියෙන් පැමිණෙන්නා වූ රෝගාදි යම්කිසි හේතුවකින් මිය යෙති. එය උපච්ඡේදක මරණ නමි.

ජීවිතේන්ද්‍රියයාගේ සිඳීම් මාත්‍ර‍ය රිදුමක් නො වෙතත් මේ සතර ආකාරය අතුරෙන් කවර ආකාරයකින් වුව ද මැනේනා වූ සත්ත්වයා හට මරණය වනුයේ ඔහුගේ සිත කය දෙක ම මහත් රිදුම් රාශියක් ඇතිකොට අන්තිමේදී ය. එබැවින් මරණය මහත් වූ දුකෙකි. මරණය ළං වූ කල්හි මැරෙන සත්ත්වයාගේ ශරීරයෙහි වාතාදි දෝෂයන් නයින් සේ කිපී පොලු වලින් තලන්නාක් මෙන් ද, පිහිය වලින් පලන්නාක් මෙන් ද, හුල් වලින් අනින්නාක් මෙන් ද, ශරීරය ඒ මේ අත පෙරළ පෙරළා පොඩි කරන්නාක් මෙන් ද, ගින්නේ දවන්නාක් මෙන් ද, අත් පා ගලවන්නාක් මෙන් ද, ඇඟ මස් ගලවන්නාක් මෙන් ද, ශරීරය පෙළන්නට වන්නාහු ය. මරණය ළංවත් ම විශේෂයෙන් ම ඝන වූ සෙම නැගී අවුත් ළය තද කරන්නේ ය. ආශ්වාස ප්‍ර‍ශ්වාස මාර්ගය අවුරන්නේය. එයින් මැරෙන්නා වූ තැනැත්තා හට ආශ්වාස ප්‍ර‍ශ්වාස කිරීම ඉතා අමාරු වන්නේය. මේ තද වීම නිසා ඔහුට ඉතා මහන්සියෙන් ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන්නට සිදුවන්නේය. භයානක හඬක් නංවමින් ඉතා අමාරුවෙන් ඒ අවස්ථාවේ දී කරන ආශ්වාස ප්‍ර‍ශ්වාසයට පණ ඇදීමය යි කියති. සෙම නැගී අවුත් ආශ්වාස ප්‍ර‍ශ්වාස මාර්ගය ආවරණය කළ කල්හි සත්ත්වයාහට වන්නා වූ වේදනාව ඉතා මහත් වූවකි.

අනේපිඬු මහ සිටාණන් මරණ මඤ්චකයෙහි සැතපෙන අවස්ථාවෙහි එතුමන් දක්නට ආනන්ද ස්ථවිරයන් වහන්සේ හා ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ ද වැඩි සේක. ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ සිටාණන් ගෙන් සුවදුක් විචාළහ. එකල්හි සිටාණෝ “ස්වාමීනි ශාරිපුත්‍ර‍යන් වහන්ස, බලවත් පුරුෂයකු විසින් මිටියකින් ගසන්නාක් මෙන් මාගේ හිස වාතයෙන් පෙළන්නේය. බලවත් පුරුෂයකු විසින් වරපටකින් තද කොට වෙළන්නාක් මෙන් මාගේ හිස වාතයෙන් තද වන්නේය. දක්ෂ වූ ගව ඝාතකයන් විසින් ගෙරි මස් කපන තියුණු සැතකින් කපන්නාක් මෙන් මාගේ කුසය රිදෙන්නේය. බලවත් පුරුෂයන් දෙදෙනකු විසින් දුර්වල පුරුෂයකු දෑතින් අල්වා ගෙන ගිනි අඟුරු වළෙක ලා පෙරළා තවන්නාක් මෙන් දැවෙන්නේය” යි කීහ. අනේ පිඬු මහ සිටාණන් වැනි පින්වතුන් හට මරණ දුක්ඛය මෙපමණ මහත්ව යන කල්හි සෙස්සන්ට මරණාසන්නයේ දී මහත් වූ දුකක් වීම ගැන කියනුම කිම?

අපමණ ශාරීරික වේදනාවලින් පෙළෙන්නා වූ සත්ත්වයා හට මේ අවස්ථාවෙහි දී මරණය ගැන මහත් වූ භයක් ද හට ගන්නේය. ඒ භය තරම් විශාල වූ අන් භයක් නැත්තේය. අති රෞද්‍ර‍ වූ ඒ මරණය ගිනි කඳක් හෘදයට වැද යන කලෙක මෙන් සත්ත්වයාගේ සිත දවන්නේය. ශාරීරික දුඃඛ වේදනාවලින් අතිශයින් තැවෙමින් දෙවියන් සිහිවී සිටින සත්ත්වයා පව් කළ කෙනෙක් වී නම්, මේ අවස්ථාවෙහි ඔහුට තවත් මහත් වූ බියක් එළඹෙන්නේ ය. මේ අවස්ථාවෙහි දී ඔහුට කර්මය විසින් ම නරකය දක්වනු ලබන්නේය. ඔහුට මහා ගිනි ජාලාවක් තමන් වැළඳ ගැනීමට තමා දෙසට බුර බුරා නැග එන්නාක් මෙන් පෙනෙන්නේය. රෞද්‍ර‍ වූ යම රකුසන් තමා ඇදගෙන යන්නට එන්නාක් මෙන් පෙනෙන්නේය. මේවා දක්නා කල්හි භයින් තැති ගන්නා වූ ඒ සත්ත්වයා හට මල මුත්‍ර‍ පවා පහ වන්නේය.

සුගති දුර්ගති දෙක්හි ම උපදින සත්ත්වයන්ට මේ අවස්ථාවෙහි දී ඇතිවන තවත් මහත් දුකක් නම් ප්‍රිය වස්තූන්ගෙන් හා ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වීමෙන් වන ශෝකයයි. මැරෙන්නා වූ සත්ත්වයා හට මරණයෙන් තමා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ආදරයෙන් ආරක්ෂා කරගෙන සිටියා වූ මිල මුදල් ගෙවල් දොරවල් ආදියෙන් වෙන් වන්නට, ප්‍රිය වූ අඹුදරුවන් ගෙන් නෑයන්ගෙන් මිතුරන්ගෙන් වෙන් වන්නට සිදුවේ. මෙය ද ඔහුට ඉවසිය නො හෙන දුකකි. තමාගේ අඹු දරු ආදීන්ගෙන් එක් කෙනකු නැති වූ විට ද, දවස් ගණනක් හඬන්නා වූ මාස ගණනක් අවුරුදු ගණනක් ශෝක කරන්නා වූ පුද්ගලයකුට සියල්ලෙන් ම වෙන් වීම කෙසේ නම් ඉවසිය හැකි වන්නේද? නො වන්නේ ම ය. මේ වෙන් වීම ගැන මරණාසන්න සත්ත්වයාට වන චිත්තසන්තාපය ළය තුළට මහ ගිනි කඳක් වැද දවන කලක් වුවහොත් එබඳු කලෙක වන දුක හා සමාන වන්නේ ය. මෙසේ සිත කය දෙකට ම මහත් වූ දුක් රාශියක් ගෙන දෙන බැවින් ජීවිතේන්ද්‍රියය සිඳීම වූ මරණය සත්ත්වයා හට අන් සියල්ලට ම මහත් වූ දුක වන්නේ ය. එබැවින් සත්ත්වයෝ අන් හැම දෙයට ම වඩා මරණයට බිය වන්නාහු ය. මරණයෙන් ගැලවීම සඳහා අන් සියල්ල ම පරිත්‍යාග කරන්නාහු ය.

4. ශෝක දුඃඛය

රන් රිදී මුතු මැණික් මිල මුදල් ගේ වතු කුඹුරු ආදි ප්‍රිය වස්තූන්ගෙන් විනාශයෙන් ද, අන්‍යයන් විසින් පැහැර ගැනීමෙන් ද, අඹු දරු ආදි ප්‍රිය පුද්ගලයන්ගේ විනාශයෙන් ද, ඔවුනට වූ හානි වලින් ද, තමහට වන රෝගාදි අන්තරායන්ගෙන් ද, වන්නා වූ සිත දැවීම ශෝක නම් වේ. මෙය ද සසර සැරිසරන සත්ත්වයා හට නොයෙක් විට පැමිණෙන්නා වූ දුකෙකි. එය විනාශ වන වස්තුවෙහි ප්‍රියත්වය වැඩි පමණට මහත් ව ඇති වන්නා වූ දුකෙකි. අතිශයින් ම ප්‍රිය වස්තුවක් හෝ අතිශයින් ප්‍රිය පුද්ගලයකු හෝ විනාශ වූ කල්හි එය ගිනියම් වූ යහුලක් පපුවට ප්‍රවේශ කළ අවස්ථාවක මෙන් ද මහ ගිනි කඳක් පපුවට වැදුන අවස්ථාවක මෙන් ද සිත කය දෙක ම අතිශයින් දවන්නේය. දැවීමේ වේගය කොතරම් ද කියතහොත්, ශෝක ගින්නෙන් ලේ හුණු වී සමහරකුට හුණු ලේ වමනය වන්නේය. සමහර කෙනකුට හුණු ලේ විරේචනය වන්නේ ය. සමහරෙක් උමතු වන්නාහ. සමහර කෙනකුට තවත් නොයෙක් රෝග හට ගන්නේය. සමහරෙක් බෙල්ලේ වැලලා මිය යන්නාහ. සමහරෙක් බෙලි කපා ගෙන මිය යන්නාහ. සමහරෙක් දුම්රියට බෙල්ල තබා මිය යන්නාහ. සමහරෙක් දියට පැන මිය යන්නාහ. සමහරෙක් ගින්නට වැද මිය යන්නාහ. සත්ත්වයන්ට හැම කල්හි ම මුණ ගැසෙනුයේ එක එක ප්‍රිය වස්තුවක විනාශය පමණක් නොවේ. සමහර විටෙක එකවර ම බොහෝ ප්‍රිය වස්තූන්ගේ විනාශය ද පැමිණෙන්නේ ය. බොහෝ ප්‍රිය පුද්ගලයන්ගේ විනාශය ද පැමිණෙන්නේ ය. එක වස්තුවක හෝ එක ප්‍රිය පුද්ගලයකුගේ විනාශයෙන් හට ගන්නා ශෝකය සිය දිවිනසා ගැනුමට තරම් කරුණක් වන කල්හි වස්තු බොහෝ ගණනක හෝ පුද්ගලයන් බොහෝ ගණනක හෝ විනාශයෙන් වන්නා වූ ශෝක දුඃඛයේ මහත්ත්වය කෙසේ කිය හැකි වන්නේ ද?

5. පරිදේව දුඃඛය

ඥාති ව්‍යසනාදිය සිදු වූ කල්හි ශෝකයෙන් “අනේ, පුතේ නුඹ කොහි ගියෙහි ද? අනේ දුවේ නුඹ කොහි ගියෙහි ද? නුඹ නැතුව අප සිටින්නේ කෙසේද?” යනාදීන් ඒ ඒ පුද්ගලයන් ගැන කියමින් හෝ ඔවුන්ගේ ගුණ කියමින් හෝ නැති වූ වස්තු ගැන කියමින් හෝ ඒ වස්තූන් නැති පාඩුව කියමින් හෝ නන් දෙඩීම ද, සුසුම් ලමින් කඳුළු සලමින් කෙළ පෙරමින් ශබ්ද පැවැත්වීම ද පරිදේව නම් වේ. හැඬීමය යනු ද මීට නමෙකි. හැඬීම ම දුකක් නො වෙතත් හඬන්නා වූ තැනැත්තා හට හිසට ගසා ගැනීම් බිත්තිවල කණුවල හිස ගසා ගැනීම් බිම හැපීම් බිම පෙරළීම් ආදියෙන් බොහෝ දුඃඛ වේදනා වන බැවින් “පරිදේවය දුඃඛයකැ” යි තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දේය.

6. දුඃඛ දුඃඛය

ශරීරයෙහි හට ගන්නා වූ අනේකප්‍ර‍කාර වූ රිදුම් දැවීම් ආදි වූ දුඃඛයෝ දුඃඛ දුඃඛ නම් වෙති. ජාත්‍යාදි දුඃඛයෝයයි කියන ලද්දේ ඒවා දුකට හෙවත් රිදීමට හේතුවන බැවිනි. කයෙහි හට ගන්නා දුඃඛ වේදනාව වනාහි තවත් කායික මානසික දුඃඛ වේදනාවන්ට හේතු ද වෙයි. තොමෝ ද ඒකාන්ත දුඃඛයක් වෙයි. එබැවින් එය දුඃඛ දුඃඛ යයි කියනු ලැබේ. අතිශයින් මහත් වූ දුකය යනු එහි තේරුමයි. සත්ත්වයන්ගේ ශරීරයන්හි ආභ්‍යන්තරික ධාතූන්ගේ කෝපයෙන් හට ගන්නා වූ ද, බාහිර උපද්‍ර‍වයන්ගෙන් හට ගන්නා වූ ද, දුඃඛ වේදනා ඉතා බොහෝය. වාතාදීන්ගේ කෝපයෙන් හිසෙහි දුඃඛ වේදනා හට ගන්නේය. ඇස් වල ද කන් වල හා දත් වල ද ඉවසීමට ඉතා දුෂ්කර වූ ඉතා මහත් වූ දුඃඛ වේදනා හට ගන්නේ ය. දිවෙහි ද උගුරෙහි ද පපුවෙහි ද පිටෙහි ද උරහිස්හි ද ඇලපත්හි ද තුනටියෙහි ද අත් පා වල ද සන්ධිස්ථානයන්හි ද ඇට වල ද මස්වල ද නහර වල ද නොයේක විට වාතාදීන් ගේ කෝපයෙන් බොහෝ දුඃඛ වේදනා හට ගන්නේය. මල මුත්‍ර‍ නිකුත් වන මාර්ගයන් වැසුණු කල්හි මල මුත්‍ර‍ පිට නො වීමෙන් ඉතා රෞද්‍ර‍ වූ, පණ යන තරම් ම මහත් වූ දුඃඛ වේදනා හට ගන්නේ ය. ස්ත්‍රීන් හට දරුවන් ප්‍ර‍සූත කිරීමෙහි දී මහත් දුඃඛ වේදනා හට ගන්නේ ය. කුෂ්ඨ වණ ගෙඩි සෑදුණු කල්හි ඒවායේ ද මහත් දුඃඛ වේදනා හට ගන්නේ ය. වණ වල පණුවන් සෑදී කන කල්හි මහත් වූ දුඃඛ වේදනා වන්නේය. මේවා අභ්‍යන්තරයෙන් ම හට ගන්නා වේදනාවෝ ය.

පිටතින් පැමිණෙන උපද්‍ර‍වයන් නිසා ශරීරයෙහි වන්නා වූ දුඃඛයෝ ද ඉතා බොහෝ ය. සත්ත්වයා හට නොයෙක් විට අව්වෙහි සිටින්නට වීමෙන් ද දුක් හට ගන්නේ ය. ගින්නෙන් දැවීමෙන් ද දුක් හට ගන්නේ ය. ගල් මුල් වල සැපීමෙන් ද දුක් හට ගන්නේ ය. ඇඟ පිට ගෙඩි කඩා වැටීමෙන් අතු කඩා වැටීමේන ගස් කඩා වැටීමෙන් ගෙවල් කඩා වැටීමෙන් රථවාහන හැපීමෙන් බොහෝ වේදනා වන්නේ ය. ගල් පහරවල් වැදීමෙන් පොලු පහර පිහියා පහර වෑ පහර පොරෝ පහර උදලු පහර කඩු පහර හී පහර වෙඩි පහර වැදීමෙන් ද බොහෝ වේදනා වන්නේය. පත්තෑයන් ගෝනුස්සන් සර්පයන් බල්ලන් සිංහයන් ව්‍යාඝ්‍ර‍න් විසින් කෑමෙන් ද බොහෝ දුක් වන්නේයෙ. එළුවන් විසින් ගවයන් විසින් ඇනීමෙන් ද, ඇතුන් විසින් පාගා දැමීමෙන් ද, ගවයන් විසින් අසුන් විසින් පා පහර දීමෙන් ද බොහෝ වේදනා වන්නේ ය. උකුණන් මකුණන් මැක්කන් මදුරුවන් විසින් කෑමෙන් ද බොහෝ වේදනා වන්නේ ය. සොරකම් ආදි වරද කොට අසුවීමෙන් හා තමන් නො කළ වරද වලට නිකම් අසුවීමෙන් සිරකොට තබනු ලැබීමෙන් ද, සිරගෙයි දී වැඩ කරනු ලැබීමෙන් ද, කසයෙන් තළනු ලැබීමෙන් ද කෝටුවලින් පොලුවලින් තළනු ලැබීමෙන් ද, අත් කැපීම් කන් කැපීම් නාස් කැපීම් හිස සිඳීම් පිළිස්සීම් ආදිය කරනු ලැබීමෙන් ද බොහෝ දුඃඛ වේදනා වන්නේය. සොරුන් විසින් අල්වා ගෙන ධනය සඟවා තිබෙන තැන් අස අසා තළනු ලැබීමෙන් ද, කටු වලින් පිහියා වලින් හුල් වලින් මඳින් මඳ කපනු ලැබීමෙන් ද, වන්නා වූ වේදනාවෝ ඉතා බොහෝ ය. මේ දක්වන ලදුයේ මනුෂ්‍ය ලෝකයෙහි මනුෂ්‍යයකුට ඇතිවිය හැකි දුඃඛ වේදනාවන්ගෙන් ස්වල්පයකි. තවත් බොහෝ දුක් ඇත්තේය. මනුෂ්‍යයා හට හැම කල්හි ම මෙසේ සිටින්නට ලැබෙන්නේ නො වේ. පව් කරන්නා වූ ඔහුට අපායට පැමිණෙන්නට සිදුවන්නේ ය. අපායෙහි දී විඳින්නට වන්නේ මීට වඩා සිය දහස් ගුණයෙන් මහත් වූ දුකෙකි. එය ද සලකා ගත යුතු. දීර්ඝ වන බැවින් මෙහි නො දක්වනු ලැබේ.

7. දෞර්මනස්‍යය

සිතෙහි හටගන්නා දුක දෞර්මනස්‍ය නම් වේ. තමා විසින් බොහෝ දුකින් පෝෂණය කරන දරුවන් අකීකරු වීම, මහලු කල්හි දරුවන් විසින් නො සැලකීම, දුකින් ධනය සපයා පෝෂණය කරන භාර්‍ය්‍යාව අන් පුරුෂයන් පතනු දැකීම, අකීකරු වීම, අනුන් විසින් අවමන් කරනු ලැබීම, දරුවන් දුකට පත්ව සිටිනු දැකීම, පාඩම් විභාග වලින් අසමර්ථ වීම, රූපය අවලක්ෂණ වීම, කටහඬ නරක් වීම, දිළිඳු වීම, අනුන් කරන දෑ තමහට නො කළ හැකි වීම යනාදි දහස් ගණන් කරුණු වලින් මේ දෞර්මනස්‍යය මිනිසුන්ට නිතර ඇති වන්නේය. ධනවත් ව සිට පසුව දිළිඳුව අනාථව අම්බලමක සිටින්නට වූ විටෙක පෙර තමා හා එක්ව හැසිරුණු නෑයන් මිත්‍ර‍යන් යස ඉසුරෙන් රථ වාහනාදියෙන් තමන් දෙසවත් නො බලා යනු දක්නා කල්හි මහත් වූ දොම්නස් ඇති වන්නේ ය. එක් ජාතියක දී ම එක් පුද්ගලයකුට ඇති වන දොම්නස්වල ප්‍ර‍මාණයක් නැත්තේ ය. දුප්පත් පොහොසත් කාටත් නොයෙක් විට මේ දොම්නස ඇති වන්නේය.

8. උපායාසය

ඥාති ව්‍යසනාදිය හේතු කොට සිතට වන්නා වූ බලවත් වෙහෙස උපායාස නමි. උපායාසයෙන් යුක්ත වූයේ ව්‍යසනයට පත් පුද්ගලයාගේ ගුණ කීම් හැඬීම් ආදි කිසිවක් නො කොට සුසුම් ලමින් බලා සිටී. සමහර විට කෑම්-බීම් ආදි තමාගේ කටයුතු නො කර සිටී. එය බලවත් වූ කල්හි මුර්ඡා ද වෙයි. සමහර විට ළය වියළී මරණයට ද පැමිණෙයි. ඒ සිත වෙහෙසීම් මාත්‍ර‍ය ම දුකෙක් නො වෙතුදු එය බොහෝ කායික මානසික දුඃඛයන්ට හේතුවන බැවින් තථාගතයන් වහන්සේ උපායාසය ද දුකකැයි වදාළ සේක.

9. අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය

අප්‍රිය වස්තූන් හා අප්‍රිය පුද්ගලයන් මුණ ගැසීම් අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය යි. කුණු කසන සෙම් සොටු මල මුත්‍රාදි දැකීමට අප්‍රිය වූ වස්තූහු ද, අමිහිරි වූ ඇසීමට අප්‍රිය වූ ශබ්දයෝ ද, කුණු ගඳ ආදි ආඝ්‍රාණයට අප්‍රිය ගන්ධයෝ ද, තික්තාදි අප්‍රිය රසයෝ ද, ශරීරය හා ස්පර්ශ වූ කල්හි දුක් උපදින අනිෂ්ට ස්පර්ශයෝ ද යන මොවුහු අප්‍රිය වස්තූහු ය. මේවා ස්වභාවයෙන් දුක් නො වෙතත්, මේ අනිෂ්ට වස්තූන් දැකීමේ දී ඇසීමෙහි දී ආඝ්‍රාණය කිරීමේ දී ආශ්වාදනය කිරීමේ දී සිතට ද, ස්පර්ශ වීමේ දී කයට ද දුක් උපදින බැවින් අප්‍රිය වස්තු සම්මුඛ වීම දුකෙකි. අප්‍රිය පුද්ගලයෝ නම් තමා හට සතුරු වූ ද, සතුරු නො වූවත් තමා කැමති නොවන කථා හා ක්‍රියා ඇත්තා වූ පුද්ගලයෝ ය. එබඳු පුද්ගලයන් හා එක්ව වාසය කරන්නට හා එක්ව වැඩ කරන්නට සිදුවීම අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය යි. අප්‍රිය පුද්ගලයන් හා සම්ප්‍රයෝග මාත්‍ර‍ය දුකක් නො වෙතුදු එය අප්‍ර‍මාණ කායික මානසික දුඃඛයන්ට හේතුවන බැවින් දුකකැයි කියන ලදි. සසර සැරිසරන සත්ත්වයන්ට මෙය නිතර මුණ ගැසෙන දුකෙකි. රජකුට වත් මෙයින් මිදී විසිය හැකි නො වේ.

10. ප්‍රිය විප්‍රයෝග දුඃඛය

ආදරයෙන් රැස් කොට ආරක්ෂා කරගෙන සිටින ධනයෙන් හා පුත්‍ර‍ භාර්‍ය්‍යාදි පුද්ගලයන්ගෙන් ද වෙන් වීම ප්‍රිය විප්‍රයෝග දුඃඛය යි. ධනය වනාහි වියදම් වීමෙන් ද සොරුන් විසින් රජුන් විසින් පැහැර ගැනීමෙන් ද ගිනි දිය ආදියට අසුවීමෙන් ද හිමියාගෙන් වෙන් වෙන දෙයකි. හිමියා වෙත යම් ධනයක් ඉතිරි වුව ද මරණයට පැමිණීමෙන් ඔහු එයින් ඒකාන්තයෙන් වෙන් වන්නේය. පුත්‍ර‍ කලාත්‍රාදි ප්‍රිය පුද්ගලයන් හා වාසය කරන තැනැත්තාට තමාට ඔවුන් හැර අන් පෙදෙසකට යන්නට සිදුවීමෙන් ද ඔවුන් තමා හැර යාමෙන් ද, මරණයට පැමිණීමෙන් ද ඔවුන්ගෙන් වෙන් වන්නට සිදු වේ. තමාගේ මරණයෙන් හෝ වෙන් වන්නට සිදුවේ. එබැවින් ප්‍රිය විප්‍රයෝගය ද සසර සැරිසරණ පුද්ගලයා හට ජාතියක් පාසා ම සිදු වන දෙයකි. එය ම ඒකාන්තයෙන් දුකක් නො වතුදු බොහෝ කායික මානසික දුඃඛයන්ට හේතුවන බැවින් එය දුකකි. එහි උග්‍ර‍තාවය කොතෙක් ද කියතහොත් සමහරු රෝගී වෙති. සමහරු මිය යති. සමහරු සිය දිවි නසා ගනිති.

11. කැමති දෑ නො ලැබීමේ දුක

මේ සත්ත්වයන් විසින් කැමති වන්නා වූ ලැබීමට බලාපොරොත්තු වන්නා වූ දේවල් ඉතා බොහෝ ය. දිරන ස්වභාවය ඇති සත්ත්වයෝ නො දිරීමට හෙවත් මහලු නො වීමට බලාපොරොත්තු වෙති. රෝගී වන ස්වභාවය ඇති සත්ත්වයෝ නිරෝගීව සිටීමට බලාපොරොත්තු වෙති. නූගත්තු උගතුන් වීමට බලාපොරොත්තු වෙති. මෝඩයෝ නුවණැතියන් වීමට බලාපොරොත්තු වෙති. දුප්පත්තු පොහොසත් වීමට බලාපොරොත්තු වෙති. තනතුරු නැත්තෝ තනතුරු ලැබීමට බලාපොරොත්තු වෙති. සාමාන්‍ය වැසියෝ රජ වීමට බලාපොරොත්තු වෙති. තවත් නොයෙක් දේවල් නැත්තෝ නැත්තා වූ ඒ ඒ දේවල් ලැබීමට ද, ඇත්තෝ වැඩි වැඩිය ලැබීමට ද බලාපොරොත්තු වෙති. මෙසේ ලැබීමට බලාපොරොත්තු වන දේවල් බොහෝ ඇත. ඒවායින් දහසෙන් පංගුවකුදු ඔවුන්ට නො ලැබෙන්නේ ය. මේ නො ලැබීම දුකක් නො වෙතත් එය බොහෝ කායික මානසික දුක් ඇති කරන්නක් බැවින් කැමති දෑ නො ලැබීම ද මේ සත්ත්වයන්ට මහත් දුඃඛයක් වන්නේය.

12. පඤ්චෝපාදානස්කන්ධ දුඃඛය

ජාති ජරා මරණාදි මේ දුක් සමූහය ඇතිවන්නේ අන් තැනක නොව මේ උපාදානස්කන්ධ පඤ්චකයෙහි ම ය. උපාදානස්කන්ධ පඤ්චකය සියලු ම දුක්වල උත්පත්ති ස්ථානය යි. එබැවින් උපාදානස්කන්ධ පඤ්චකය ද දුකෙකැයි තථාගතයන් වහන්සේ වදාළ සේක.

ලෝකයෙහි සත්ත්වයා උපදින්නේ ද දුකෙනි. උපන් තැන් පටන් ම ඔහුගේ ශරීරය දිරන්නේ ය. එ ද ඔහුට දුකෙකි. දිරන්නා වූ ඔහු මොහොතක් පාසා ම යන්නේ මරණය කරා ය. මරණය ද ඔහුට මහත් දුකෙකි. ඉපදීමටත් මරණයටත් අතරදී නොයෙක් වර ඔහුට ශෝක කරන්නට ද හඬන්නට ද, බලවත් සිත් වෙහෙසට පැමිණෙන්නට ද සිදු වන්නේ ය. නොයෙක් වර අප්‍රිය සම්ප්‍රයෝගයෙන් කැමති දෑ නො ලැබී දුකින් ඔහු නො මිදෙන්නේ ය. මෙතෙක් දුඃඛයන් ඇත්තා වූ මේ සත්ත්වයාගේ ස්කන්ධ පඤ්චකය ම දුකෙකි. ස්කන්ධ පඤ්චකය හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත්තේය. එබැවින් මේ සත්ත්ව ලෝකය ම දුක් ගොඩෙකි. උපදින්නේත් දුක ම ය. නිරුද්ධ වන්නේත් දුක ම ය. මෙහි සත්‍ය වශයෙන් සැපයක් නැත. මේ විභංගපාළියෙහි දුඃඛ සත්‍යය දැක්වීම ය.

දුක්ඛාර්‍ය්‍ය සත්‍යය මෙතෙකින් නිමියේ ය.

2. දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය

ඒකාන්ත සත්‍ය වශයෙන් දුක් වූ බැවින් දුඃඛාර්‍ය්‍ය සත්‍යය යි කියන ලද කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රයෙහි වූ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන උපාදානස්කන්ධයෝ අනිත්‍ය වූ දේවල් බැවින් නැවත නැවත ම බිඳි බිඳී යන්නාහු ය. නො පවත්නාහු ය. එහෙත් අළුත් අළුත් උපාදානස්කන්ධ නැවත පහළ වීමෙන් මේ දුඃඛස්කන්ධ නො සිඳී පවත්නේය. කොතරම් නිරුද්ධ වුවත් නැවත නැවතත් මේ ස්කන්ධයන්ගේ පහළවීම අහේතුකව සිදු විය හැකි දෙයක් නොවේ. එයට යම්කිසි හේතුවක් තිබිය යුතු ම ය. මේ දුක්ඛස්කන්ධයාගේ පහළ වීම පිළිබඳ ව ලෝකයෙහි නොයෙක් දෙනා නොයෙක් හේතු දක්වති. ඒ හේතු වශයෙන් දක්වන කරුණු අතුරෙන් නොවරදින්නා වූ යම් හේතුවක් වේ නම් එයට දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ. ඒ සත්‍ය වූ දුඃඛයාගේ උත්පත්ති හේතුව කුමක්ද යන බව දක්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් :-

“කතමඤ්ච භික්ඛවෙ! දුක්ඛසමුදයං අරියසච්චං? යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා තත්‍ර‍තත්‍රාභිනන්දනී. සෙය්‍යථිදං? කාම තණ්හා භව තණ්හා විභව තණ්හා, ඉදං වුච්චති භික්ඛවෙ දුක්ඛ සමුදයං අරියසච්චං”

යනු වදාරන ලදි. “මහණෙනි, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය කවරේ ද යත්? යම් ඒ තෘෂ්ණාවක් සත්ත්වයා නැවත නැවත භවයෙහි උපදවා ද ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද ස්කන්ධයන් කෙරෙහි ඒවා හොඳ ය යි ගෙන සතුටු වීම හා ඇලීම කවරේ ද, ලැබුවා වූ ද, පැමිණියා වූ ද, කුඩා වූ ද, මහත් වූ ද, හීන වූ ද, ප්‍ර‍ණීත වූ ද, ඒ ඒ භවයන්හි සතුට හා ඇල්ම කවරේ ද, කාම තෘෂ්ණා භව තෘෂ්ණා විභව තෘෂ්ණා වශයෙන් ත්‍රිවිධ වූ මේ තෘෂ්ණාවට දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍ය ය යි කියනු ලැබේ.” යනු මෙහි අදහසයි. මෙයින් තෘෂ්ණාව දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය බව හෙවත් දුක් ඉපදීමේ සැබෑ හේතුව බව දැක්විණ.

තෘෂ්ණාව හා එහි ප්‍රභේද

‘තෘෂ්ණාව’ යනු මනුෂ්‍ය-දිව්‍ය බ්‍ර‍හ්මාදි සත්ත්වයන් වශයෙන් පෙනෙන උපාදානස්කන්ධයන් කෙරෙහි හා රන්-රිදී-මුතු-මැණික් ආහාර වස්ත්‍රාදි බාහිර රූපයන් කෙරෙහි ද ඒවා හොඳය-ඕනෑය යනාදීන් පවත්නා වූ ඇල්ම ය. මෙය ආධ්‍යාත්මික ස්කන්ධයන්හි අතිශයින් බලවත් ව පවතී. පවත්නේ ද මාගේ ඇස ය: මාගේ කණ ය: මාගේ දිව ය: මාගේ හිසකෙස් ය: මාගේ හිස ය: මාගේ අතය: මාගේ සැප ය: මාගේ සිහිය ය: මාගේ නුවණ ය: මාගේ මෛත්‍රිය ය: මාගෙ කරුණාව ය: මාගේ වීර්‍ය්‍ය ය: මාගේ ජීවිතය ය යනාදීන් ඒ ඒ ස්කන්ධයන් කෙරෙහි වෙන් වෙන් වශයෙන් ද පවතී. මා ද ලෝකයෙහි එක්තරා කෙනකු වශයෙන් සිටින්නට ඕනෑය යි සකල ස්කන්ධ පඤ්චකය කෙරෙහි ම ද පවතී. මෙයිනුදු සකල ස්කන්ධ පඤ්චකය ම ආත්ම වශයෙන් ගෙන පවත්නා වූ තෘෂ්ණාව අතිශයින් දෘඪය.

තමන් ලෝකයෙහි සිටින්නට ඕනෑය යන ආශාව වැසිකිළි වළෙහි කෙළ පඩික්කමෙහි වෙසෙන පණුවාගේ පටන් සෑම පෘථග්ජන සත්ත්වයකු කෙරෙහි ම අතිශයින් බලවත්ව පවතී. ස්කන්ධ පඤ්චකය ම එක්කොට අල්ලා ගෙන පවත්නා වූ තෘෂ්ණාව එය ය. අනේකාකාරයෙන් හටගන්නා වූ තෘෂ්ණාවන් අතුරෙන් අන් හැම තෘෂ්ණාවකට ම වඩා බලවත් වනුයේ, පළමුවෙනි අංකයට පැමිණෙනුයේ, ආධ්‍යාත්මික පඤ්චස්කන්ධය එක්කොට ගෙන පවත්නා ඒ තෘෂ්ණාව ය. දුඃඛස්කන්ධය නැවත පහළ වීමට නොසිඳී පැවැත්මට ප්‍ර‍ධාන වශයෙන් හේතු වනුයේ ද මෙය ම ය. ආධ්‍යාත්මික ස්කන්ධ පඤ්චකය ගැන මෙබඳු බලවත් තෘෂ්ණාවක් කා කෙරෙහිත් පවතිනවා ය යි කී පමණින් ම මෙහි දෘඪත්වය නො වැටහෙයි. මෙය වටහා ගත හැකි වනුයේ ඇලුම් කරන වස්තූන්ගේ විනාශයෙන් වන සිදු රිදුම කල්පනා කිරීමෙනි. කිසිදු ඇල්මක් නැති දෙයක විනාශයෙන් අල්පමාත්‍ර‍ වූ ද සිත් රිදුමක් නො වේ. මඳ ඇල්මක් ඇති දෙයක විනාශය වන කල්හි ද සිත් රිදුමක් වන්නේය. බොහෝ ඇල්ම ඇති දෙයක් විනාශ වන කල්හි මහත් රිදුමක් වේ.

යම්කිසි වස්තුවක් විනාශ වන කල්හි වන සිත් රිදුමට වඩා මහත් වූ සිත් රිදුමක් අඹුදරුවන් අතුරෙන් කෙනකු නැසෙන කල්හි වන්නේ ය. තමාගේ ශරීරයෙන් යම්කිසි කොටසක් නැසෙතහොත් එකල්හි එයට වඩා මහත් වූ සිත් රිදුමක් වන්නේ ය. තමන් සම්පූර්ණයෙන් ම නැසෙන්නට යනු දුටහොත් එයට ද වඩා මහත් සිත් රිදුමක් වන්නේ ය. එසේ වනුයේ අන් සෑම දෙයකට ම වඩා සත්ත්වයා තමාට ඇලුම් කරන බැවිනි.

මෙසේ බැලීමෙන් ආධ්‍යාත්මිකස්කන්ධ පඤ්චකය ම ආත්ම වශයෙන් ගෙන උපදනා තෘෂ්ණාව පළමුවන අංකයට පැමිණෙන බව ද, ආධ්‍යාත්මික ස්කන්ධාවයවයන් ගැන පවත්නා තෘෂ්ණාව දෙවන අංකයට පැමිණෙන බව ද, අඹු දරු ආදීන් ගැන පවත්නා තෘෂ්ණාව තුන්වන අංකයට පැමිණෙන බව ද, බාහිර වස්තු තෘෂ්ණාව සතරවන අංකයට පැමිණෙන බව ද තේරුම් ගත හැකි වේ. ගින්නෙහි දුම ඇති කරන ස්වභාවයක් ඇතුවා සේ ස්කන්ධයන්හි තෘෂ්ණාව උපදවන ස්වභාවයක් ඇත්තේ ය. එබැවින් ස්කන්ධයන් නිසා ම මේ තෘෂ්ණාව ද උපදනේ ය. එය සත්ත්වයාගේ යම්කිසි වරදකින් සිදුවන දෙයක් සැටියට නො කිය යුතුය. එබැවින් තෘෂ්ණාව නිසා කිසිවකුට තෘෂ්ණාව ඇත්තෙකැ යි නින්දා නො කළ යුතු ය.

දුක් ගොඩක් වූ පඤ්චස්කන්ධය ඇලුම් කිරීමේ හේතුව

උපාදන ස්කන්ධ පඤ්චකය, එයට ඇලුම් කරන්නවුන්ට යට දුඃඛ සත්‍ය කතාවෙහි දැක්වුණු පරිදි අනේකාකාරයෙන් පීඩා කරන්නා වූ ද රාග ද්වේෂ මෝහ ජාති ජරා මරණාදි ගිනිවලින් දැවෙන්නා වූ ද මහා දුඃඛස්කන්ධයක් වේ නම් සත්ත්වයනට එපා විය යුතුය. එයට බියක් මිස කලකිරීමක් මිස ඇල්මක් සතුටක් ඇති නොවිය යුතුය. එසේ නොවී සත්ත්වයන් තුළ මේ උපාදාන ස්කන්ධ පඤ්චකය ගැන දෘඪ තෘෂ්ණාවක් හටගන්නේ කවර හේතුවකින් ද? සත්‍ය වශයෙන් එහි දුක් බවෙක් නැති නිසා ද? යන බව මෙහිදී කල්පනා කළ යුතු කරුණෙකි.

මේ උපාදානස්කන්ධ පඤ්චකයෙහි ආස්වාදයක් ඇත්තේ ය. ආදීනවයකුත් ඇත්තේ ය. යමක යම්කිසි සුවයක් හෝ සතුටක් හට ගනී නම් එය එහි ආශ්වාදය යි. යමකින් යම්කිසි නපුරක් වේ නම් එය එහි ආදීනවය යි. සත්ත්වයන් උපාදානස්කන්ධ පඤ්චකයට මෙපමණ ඇලුම් කරන්නේ එහි ආශ්වාදයක් ඇති නිසා ය. එහි ඇත්තේ ආශ්වාදය පමණක් ම නම් එයට කිසිවෙක් නො කලකිරෙන්නේ ය. එය කිසිවකුට එපා නො වන්නේ ය. ඒ ගැන හට ගන්නා තෘෂ්ණාව කිසිවකුට නැසිය හැකි නො වන්නේ ය. ස්කන්ධ පඤ්චකය ගැන කලකිරී ස්කන්ධ පඤ්චකය එපා වී, ඒ ගැන සතුටු වන්නා වූ එහි ඇලෙන්නා වූ තෘෂ්ණාව සිඳ ස්කන්ධ පඤ්චකය හැර නිවනට පැමිණියා වූ බුද්ධාදි උත්තමයෝ ද බොහෝ ය. ඒ උත්තමයන්ට තෘෂ්ණාව නැසිය හැකි වූයේ ද ස්කන්ධයන්හි සත්‍ය වශයෙන් මහත් වූ ආදීනවයකුත් ඇති නිසා ම ය.

මේ ස්කන්ධ පඤ්චකය විෂ මිශ්‍ර‍ කේක් ගෙඩියක් වැනි ය. විෂ මිශ්‍ර‍ වූ කේක් ගෙඩිය දකින කල්හි සිතට සුවයක් හා සතුටක් වන්නේ ය. සුවඳ ආඝ්‍රාණය කරන කල්හි ද රසය ආශ්වාදනය කරන කල්හි ද එසේ ම සිතට සුවයක් හා සතුටක් වන්නේ ය. එය එහි ආශ්වාදය යි. යමෙක් එය වැළඳුවහොත් ඔහුට මරණය හෝ වන්නේ ය. නො එසේ වී නම් ඔහු මාස ගණනක් මුළුල්ලෙහි හෝ වර්ෂ ගණනක් මුළුල්ලෙහි හෝ විඳිය යුතු මහත් දුකකට භාජනය වන්නේය. එබැවින් එය ඇලුම් නො කළ යුතු වූ දුරින් ම දුරු කළ යුතු වූ බිය විය යුතු වූ දෙයකි. දුර ගෙන ගොස් පොළොවෙහි වළලා දැමිය යුතු දෙයකි. මෙය විෂ මිශ්‍ර‍ කේක් ගෙඩියෙහි ඇති ආදීනවය යි. විෂ මිශ්‍ර‍ කේක් ගෙඩියෙහි ඇති මේ ආශ්වාදාදීනව දෙකින් ආදීනවය කොතෙක් මහත් වුව ද එය වැසී පවතී. එය ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ශාස්ත්‍ර‍ඥයකුට මිස අනිකකුට නො දත හැක්කේ ය. ආශ්වාදය ඉතා මඳ වුව ද එය මතු වී පවතී. බලන බලන බැල්මට කාට වුව ද පෙනෙනුයේ එහි මතු වී තිබෙන ආශ්වාදයම ය. එබැවින් විෂ මිශ්‍ර‍ වූ කේක් ගෙඩිය දක්නවුන්ට ඒ ගැන බියක් නො හට ගෙන තෘෂ්ණාවෙන් ඔවුහු එය වළඳා මරණයට හෝ මහා දුඃඛයට හෝ පැමිණෙති.

විෂ මිශ්‍ර‍ කේක් ගෙඩියෙහි මෙන් පඤ්චස්කන්ධයෙහි ද ආශ්වාදාදීනව දෙක ම ඇත්තේ ය. පඤ්චස්කන්ධය නිසා වරින් වර ඇතිවන මඳ වූ ද ඇසිල්ලකින් ම නැති වී යන්නා වූ ද සැපය හා සතුට එහි ආශ්වාදය යි. එහි ආදීනවය ඉතා මහත් ය. නිතර නිතර ගෙවි ගෙවී යන බැවින් ආහාර පානාදියෙන් නැවත නැවත අනුබල දිය යුතු බව එහි එක් ආදීනවයකි. නිතර ම දිරන බව එක් ආදීනවයකි මැරෙන බව එක් ආදීනවයකි. නොයෙක් රෝග හටගන්නා බව එක් ආදීනවයකි. නොයෙක් විට නොයෙක් දෙයින් නොයෙක් රිදුම් වන බව එක් ආදීනවයකි. ප්‍රිය වස්තූන්ගේ විනාශයෙන් ශෝක කරන්නට හඬන්නට වන බව ය, ඕනෑ කරන දේවල් නො ලැබීමෙන් ශෝක කරන්නට හඬන්නට සිදුවන බවය යන ආදිය ද එහි ආදීනවයෝ ය.

තව ද මේ පඤ්චස්කන්ධය ඒ ඒ පුද්ගලයා නොයෙක් වාරයෙහිදී තිරිසන් බවට පමුණුවා බොහෝ දුක් ගෙන දීමට සමර්ථ වූ ද, ප්‍රේත බවට පමුණුවා වර්ෂ දහස් ගණන් ලක්ෂ ගණන් මුළුල්ලෙහි දුක් ගෙන දීමට සමර්ථ වූ ද, සඤ්ජීව කාලසූත්‍රාදී මහා නරකයන්ට පමුණුවා වර්ෂ ලක්ෂ කෝටි ගණන් මුළුල්ලෙහි මහ දුක් ගෙන දීමට සමර්ථ වූ ද සත්කායදෘෂ්ටි ලෝභ මානාදි විෂ බීජයෝ: දුඃඛ බීජයෝ යට වී පවත්නාහ. ඒ නිසා භවාග්‍ර‍යට ද පැමිණ සිටින්නා වූ සත්ත්වයා සිටිනුයේ නැවත තිරිසන් බවට ප්‍රේත බවට නරකයට පැමිණෙන ස්වභාවය ඇතිවය. මේ සත්කාය දෘෂ්ටි ලෝභ මානාදී විෂයෝ කේක් ගෙඩියේ විෂයට වඩා සියක් දහස් වාරයෙන් උග්‍ර‍ වූ විෂයෝ ය.

මෙබඳු උග්‍ර‍ විෂ සහිත බව ද මේ පඤ්චස්කන්ධයාගේ මහත් වූ ආදීනවයකි.

පඤ්චස්කන්ධයෙහි ආදීනව රාශියක් ඇත ද කේක් ගෙඩියෙහි විෂය මෙන් එය වැසී යටව පවත්නේ ය. එය පෙනෙනුයේ ස්කන්ධයන්ගේ ඇතුළ විනිවිද දැකිය හැකි ධර්මඥාන චක්ෂුස ලබා ගත්තවුන්ට පමණෙකි. සෙස්සන්ට නො පෙනේ. එබැවින් සත්ත්වයෝ කොතෙක් ආදීනව ඇතත් ස්කන්ධයන් ගැන නො කලකිරෙති. ස්කන්ධ ඔවුනට එපා නොවෙති. විෂ මිශ්‍ර‍ කේක් ගෙඩියේ මෙන් ස්කන්ධයන්ගේ ආශ්වාදය නිතර ම මතු ව පවතී. එබැවින් එය ම සත්ත්වයාට මහත් මහත් ව පෙනේ. එබැවින් ඒ ආශ්වාදයෙහි ස්කන්ධයන් ගැන තෘෂ්ණාව උපදී. සත්ත්වයෝ මෙය මාගේ ය යි ගෙන එයට අතිශයින් ඇලුම් කරති. මේ ආදීනව සහිත වූ ස්කන්ධ පඤ්චකය ගැන තෘෂ්ණාව ඉපදෙන ආකාරය යි.

ලෝකයෙහි එක ම හේතුවකින් හටගන්නා වූ කිසිවක් නැත. උපාදානස්කන්ධ සංඛ්‍යාත සත්ත්වයාගේ උත්පත්තියට හෙවත් ස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයාගේ නැවත නැවත හටගැනීමට ද බොහෝ හේතූහු ඇත්තාහ. එයින් ප්‍ර‍ධාන හේතුව වනුයේ තෘෂ්ණාවය. තෘෂ්ණාව නමැති මේ එක ම ධර්මය නැසුවහොත් කර්මාදි අවශේෂ හේතූන් කොතෙක් ඇතත් දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වන්නේය. තෘෂ්ණාව තිබෙන තාක් දුක්වල නිවීමෙක් ද නො වන්නේ ය. තෘෂ්ණාව තිබිය දී මතු උත්පත්තියට හේතුවන කර්මාදිය නැසිය නො හැකිය. කර්‍මාදි හේතූන් තිබියදී ම තෘෂ්ණාව නැසිය නොහැකි ය. තෘෂ්ණාව නැසෙනු සමග ම කර්මාදි හේතූන් ද සමග ඒ භවයෙන් මත්තට තිබෙන දුඃඛස්කන්ධය නිවී යන්නේය. එබැවින් දුඃඛෝත්පත්තියේ හේතුව දක්වන්නා වූ තථාගතයන් වහන්සේ මේ ආර්‍ය්‍ය සත්‍ය දේශනාවෙහි දී කර්මාදි හේතූන් ගණනට නොගෙන තෘෂ්ණාව වූ එක ධර්මයක් පමණක් දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය කොට වදාළ සේක.

තෘෂ්ණාව දුකට හේතුවන සැටි මෙසේය :- වැසිකිලි වල උපදින පණුවාගේ පටන් අවීචි මහා නරකයෙහි උපදින නිරිසතාගේ පටන් සෑම සත්ත්වයකුට ම සෑම මිනිසකුට ම සෑම දෙවියකුට ම ස්කන්ධ පඤ්චක සංඛ්‍යාත තමාගේ ආත්ම භාවය ලෝකයෙහි ඇති උසස් ම දෙය සැටියට පෙනෙන්නේ ය. ඒ ආත්ම භාවයට මාරු කළ හැකි කිසි ම දෙයක් ඔහුට තුන් ලොවෙහි ම නැත්තේය. මේ ස්කන්ධ පඤ්චකය ගැන පළමුව තෘෂ්ණාව උපදනා ආකාරය යි. ඉක්බිති ඒ ආත්ම භාව සංඛ්‍යාත ස්කන්ධ පඤ්චකය නැසෙන්නට නොදී ආරක්ෂා කරන්නට පවත්වන්නට ඕනෑය යන දෘඪ තෘෂ්ණාව පහළ වේ. ඔහුගේ චක්ෂු-සෝත-ඝාණ-ජිව්හා-කාය-මන යන ආයතන සයෙහි රූප ශබ්දාදි ආරම්මණයන් ගැටුණු කල්හි ඒවා ද හොඳය කියා ප්‍ර‍ථම තෘෂ්ණාව පහළ වන්නේ ය. පසුව ඒවා නැවත නැවතත් ලබා ගන්නට ඕනෑය යන දෘඪ තෘෂ්ණාව පහළ වේ. ආහාරාදි නොයෙක් දේ එළවමින් අමාරුවෙන් පැවැත්විය යුතු වූ නිතර ඇද වැටෙන සුළු වූ ස්කන්ධ පඤ්චකය, පවතිනවාට කැමැත්ත තිබූ පමණින් නිකම් ම නො පවත්නේය. ආහාර පානාදිය එළවමින් එය පැවැත්විය යුතුය. ආශා කරන්නා වූ ඉෂ්ට රූප ශබ්දාදිය ද ඔහුට ආශාව තිබූ පමණින් නිකම්ම නො ලැබෙන්නේ ය. නො ලැබෙන කල්හි ආත්ම භාවය පවත්වා ගන්නට ඕනෑ ය යන තෘෂ්ණාව විසින් ද, ඉෂ්ට රූප ශබ්දාදීන් ලබන්නට ඕනෑය යන තෘෂ්ණාව විසින් ද ඒ ඒ දේ සෙවීමෙහි සත්ත්වයා මෙහෙයවනු ලබන්නේ ය. තෘෂ්ණාවෙන් මෙහෙයවනු ලැබූ සත්ත්ව තෙමේ දිවි පැවැත්මට ඕනෑ කරන උපකරණ සෙවීම සඳහා ද ජීවිතයට අහිත දෑ දුරු කිරීම සඳහා ද ආශ්වාදනීය රූප-ශබ්ද-ගන්ධ-රස-ස්පර්ශයන් ලබනු සඳහා ද ක්‍රියා කරන්නට පටන් ගන්නේ ය.

මනුෂ්‍යයකුට එක බත් පිඟානක් ලබනු සඳහා කරන්නට තිබෙන වැඩ අපමණ ය. ඒ සඳහා කුඹුරු කොටන්නට සිදු වන්නේය. සී සාන්නට සිදු වන්නේය. වී වපුරන්නට සිදු වන්නේය. වපුළ ගොයම මාස ගණනක් රැක බලා ගන්නට ද, ගොයම කපන්නට ද, ගොයම මඩවන්නට ද, වී වියළා පිරිසිදු කර්නනට ද, ගෙවල් වලට ගෙන ගොස් ආරක්ෂා කර තබා ගන්නට ද, වී තම්බන්නට ද වියළන්නට ද, කොටන්නට ද, පොළන්නට ද, පැන් ගෙනෙන්නට ද, සහල් සෝදන්නට ද, ගරන්නට ද, ගිනි මොළවන්නට ද සිදු වන්නේ ය. කවරකු විසින් වුව ද මේ වැඩ සමූහය නො කළ හොත් බතක් ඇති නො වන්නේ ය.

ඇඳුමක් පැළඳුමක් ඇති වීමට ද මෙසේ ම වැඩ රාශියක් කරන්නට සිදු වන්නේ ය. වාසයට ගෙයක් ඇති කර ගැනීමට ගිය කල්හි කරන්නට තිබෙන වැඩ මෙයට වඩා දහස් ගුණයකි. මේ එක එක වැඩකට ම වෙහෙසීම දුකෙකි. බොහෝ වෙහෙසෙන්නට සිදු වීමෙන් සිත-කය දෙකට බොහෝ රිදුම් ද වන්නේ ය.

ඒ ඒ දේ ලැබීම සඳහා කරන්නා වූ ක්‍රියා සෑම කල්හි ම සාර්ථක නො වන්නේ ය. නොයෙක් විට ඒවා ව්‍යර්ථ වන්නේ ය. කරන වැඩ ව්‍යර්ථ වීමෙන් වන්නා වූ සිත් රිදුම් ද ඉතා බොහෝ ය.

වෙහෙසී සපයා ගත් දේවල් නොයෙක් විට විනාශ වන්නේ ය. සොරුන් විසින් සතුරන් විසින් හෝ පැහැර ගන්නේ ය. එසේ වීමෙන් බොහෝ සෙයින් රිදුම් ද වන්නේ ය.

කරන්නට තිබෙන සියලු වැඩ තනිව කර ගැනීමට අපහසු බැවින් ද, වඩා සැප බල ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ද, සත්ත්ව තෙම තෘෂ්ණාවෙන් මෙහෙයවනු ලැබූ දෙවැන්නකු ද සොයා ගන්නේය. පුරුෂයා විසින් බිරිඳක් ද, ස්ත්‍රිය විසින් සැමියකු ද සහකාරයකු වශයෙන් සොයා ගන්නේය. සහකාරයකු එකතු කර ගැනීමෙන් පසු ඔහුට හත් අට ගුණයකින් වැඩ වැඩි වන්නේ ය. සැමියා හට ප්‍රියාව වෙනුවෙන් දහසක් වැඩ කරන්නට ද භාර්‍ය්‍යාවට හිමියා වෙනුවෙන් දහසක් වැඩ කරන්නට ද සිදු වේ. එසේ කොට ද ප්‍රියාවගේ සිත් ගත නොහැකි වීමෙන් හිමියාට ද, සැමියාගේ සිත් ගත නොහැකි වීමෙන් බිරිඳට ද නොයෙක් විට දුක් වන්නට සිදු වේ.

කල් යත් යත් ඔවුනට දරුවෝ ද වන්නාහ. එකල්හි ඔවුනට දරු ප්‍රේමය යි කියන තෘෂ්ණාව තව සිය ගුණයකින් වැඩ වැඩිකර දෙන්නේය. අඹුදරුවන් ගැන කරන වැඩ කොතෙක් කළත් ඉවරයක් නැතිව තව ඉදිරියට කරන්නට තිබෙන වැඩ රාශිය පෙනෙන විට ඔහුගේ සිතට වන රිදුම ඉතා මහති. සමහර විටෙක එක දරුවකුට ලෙඩක් වන්නේ ය. ඔහුට බෙහෙත් සොයමින් ඇවිදින අතර දරුවකු වරදට හසු වී පොලීසියට ගෙන ගියේ ය යන ආරංචිය ඔහුට ලැබෙන්නේ ය.

දැන් ඔහුට එකවර ම යා යුතු දෙ තැනකි. කොයි පැත්තට යම් දෝයි ලතවෙමින් සිට එකතැනක් බලා යන කල්හි කුඹුරට ගවයන් වැදී කුඹුර පාළු කරන්නේ ය යි යන පණිවුඩය කියාගෙන තව කෙනෙක් එන්නේ ය. යාමට තැන් එක්වර ම තුනක් වීමෙන් වික්ෂිප්තව ගමන් කරන්නා වූ තැනැත්තාට ණය ඉල්ලා ගැනීමට තමන් සොයා එන ණය හිමියා සම්මුඛ වන්නේ ය. ඔහු නුඹ දැන් කී වරක් රැවටුවා ද? අද නම් මාගේ මුදල දීලාම යන්නට ඕනෑ ය කියා මග අවුරා ගෙන ඉදිරියෙන් සිටින්නේ ය. ඔහුට ණය හිමියාගෙන් බේරී යා ගන්නට ක්‍ර‍මයක් නැතිව ලතවෙමින් සිටින විට, තව කෙනේක දුව අවුත් දැන් ළමයාට බොහොම අමාරුයි, ඔය ගෙනෙන බෙහෙත් ඕනෑ නැත, ඉක්මනින් හොඳ වෙද මහතකු හෝ දොස්තර මහතකු කැඳවා ගෙන එන්න ය යි කියන්නේය. සසර සැරි සරන සත්ත්වයාට මෙබඳු අවස්ථාවල් දුර්ලභ නො වේ. මෙබඳු අවස්ථාවක් පැමිණියහොත් එකල්හි වන සිත් රිදුම කෙසේ විය හැකි ද?

තව ද මේ තෘෂ්ණාව හේතුකොට රජවරු රජවරුන් සමග කලහ කරන්නාහ. බමුණෝ බමුණන් සමග කලහ කරන්නාහ. අඹුව සැමියා සමග කලහ කරන්නීය. සැමියා අඹුව සමග කලහ කරන්නේ ය. පියවරු දරුවන් හා කලහ කරන්නාහ. දරුවෝ පියවරුන් හා කලහ කරන්නාහ. මව්වරු ද දරුවන් හා කලහ කරන්නාහ. දරුවෝ මවුන් හා කලහ කරන්නාහ. සහෝදරයෝ සහෝදරයන් හා කලහ කරන්නාහ. නෑයෝ නෑයන් හා කලහ කරන්නාහ. මිතුරෝ මිතුරන් හා කලහ කරන්නාහ. පැවිද්දෝ පැවිද්දන් හා කලහ කරන්නාහ. මෙසේ ඔවුනොවුන් කලහ කොට මරණයට ද පැමිණෙන්නාහ. මරණය පමණ මහත් වූ දුක් වලට ද පැමිණෙන්නාහ.

තව ද ඇතැමෙක් තෘෂ්ණාව නිසා යම් යම් දේ ලබනු සඳහා බොහෝ අනතුරු ඇති කැලෑවලට ද පිවිසෙන්නාහ. ගංගා ද තරණය කරන්නාහ. සමුද්‍ර‍ය ද තරණය කරන්නාහ. භූගර්භයට ද ප්‍ර‍විෂ්ට වන්නාහ. අහසට නගින්නාහ. කඩු තුවක්කු ආදි ආවුධ ගෙන හෙන ගසන්නාක් මෙන් මහ තුවක්කු වලින් වෙඩි තබන, අහසේ සිට පුපුරන බෝම්බ, ගිනි බෝම්බ හෙලන විෂදුම් විහිදුවන යුධ බිම්වලට ද යන්නාහ. සමහරු වස කා සිය දිවි නසා ගන්නාහ. සමහරු එල්ලී සිය දිවි නසා ගන්නාහ. සමහරු දියට පැන සිය දිවි නසා ගන්නාහ. සමහරු දුම්රියට බෙල්ල තබන්නාහ. සමහරු ගෙල සිඳ ගන්නාහ. සමහරු වෙඩි තබා ගන්නාහ. සමහරු ගිනි වැද මැරෙන්නාහ. මේ තෘෂ්ණාව හේතු කොට මෙලොවදී ම වන්නා වූ මහත් වූ දුඃඛස්කන්ධයෙන් බිඳකි. දැක් වූ කරුණුවල අනුසාරයෙන් තව දුරටත් කල්පනා කොට තේරුම් ගනිත්වා!

තෘෂ්ණාව අනාගත භව දුඃඛයට හේතුවන ආකාරය

තෘෂ්ණාවෙහි අනාගත භව දුඃඛයට හෙවත් මතු උත්පත්තියට හේතුවන ආකාරය මේ චතුරාර්‍ය්‍ය සත්‍ය කථාවෙහි ඉතාමත් ගැඹුරු වූ ද දුරවබෝධ වූ ද කාරණය යි. මෙය සිහි නුවණින් යුක්තව නැවත නැවත කියවීමෙන් ද, මෙය ගැන නැවත නැවත කල්පනා කිරීමෙන් ද, දන්නවුන් අතින් තවදුරටත් කරුණු විමසීමෙන් ද, දන්නවුන් හා සාකච්ඡා පැවැත්වීමෙන් ද තේරුම් ගැනීමට උත්සාහ කරත්වා. මෙය අවබෝධ කරගත හොත් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයෙහි ඉතා ම ගැඹුරු තැන අවබෝධ කර ගත්තේ වන්නේ ය.

මේ ශරීරය ඇසින් දැකිය හැකි වූ ද, කයින් ස්පර්ශ කළ හැකි වූ ද, මහත් වූ ද, බර වූ ද, වස්තුවක් වන පරිදි සෑදී තිබෙන්නේ පස්-ජල-ගිනි-සුළං යන මහාභූත ධාතු සතරෙනි. ඇසට නොපෙනෙන්නා වූ ද කයින් ස්පර්ශ කළ නො හෙන්නා වූ ද බර නැත්තා වූ ද තවත් ධාතු කොටසක් මේ සතර මහාභූත කයෙහි ඇත්තේ ය. ඒවා යකඩයක පැතිර පවත්නා වූ විදුලි බලය සේ ශරීරයෙහි ඒ ඒ තැන්වල පැතිර පවත්නේය. කලින් විදුලි බලය පැවති යකඩයකින් විදුලි බලය පහවූයේ ද ඒ යකඩයෙහි අඩුවක් නො පෙනෙන්නාක් මෙන් ශරීරයෙන් සූක්ෂ්ම ධාතු කොටස් පහවූයේ ද එහි අඩුවක් නො පෙනෙන්නේ ය.

ඇසට පෙනෙන්නා වූ ස්පර්ශ නො කළ හැකි වූ නො බර ධාතු කොටසට අයත් ධාතු සයක් ඇසුරු කොට සත්ත්ව සන්තානයෙහි සිත් උපදනේ ය.

ඔවුහු නම් :-

  1. චක්ෂු ධාතුවය
  2. ශ්‍රෝත්‍ර‍ ධාතුවය
  3. ඝ්‍රාණ ධාතුවය
  4. ජිහ්වා ධාතුවය
  5. කාය ධාතුවය
  6. ධර්ම ධාතුවට අයත් වූ හෘදය වස්තු රූපය

යන මොහුය.

දුඃඛාර්‍ය්‍ය සත්‍යය විස්තර කිරීමේදී රූපස්කන්ධය දැක් වූ තන්හි “චක්ෂුඃ ප්‍ර‍සාදය, ශ්‍රෝත ප්‍ර‍සාදය, ඝ්‍රාණ ප්‍ර‍සාදය, ජිහ්වා ප්‍ර‍සාදය, කාය ප්‍ර‍සාදය, හෘදය වස්තු රූපය” යන නම් වලින් දක්වා ඇත්තේ මේ ධාතු සය ය. චක්ෂුඃ ප්‍ර‍සාදය යනු චක්ෂු ධාතුව ය. සෙස්ස ද මේ නයින් දත යුතු. මේ ධාතු සය අතුරෙනුදු නිතර ම හිත පවත්නේ හෘදය වස්තුව ඇසුරු කොට ගෙන ය. චක්ෂුරාදි ධාතු පස ඇසුරු කොට සිත පහළ වන්නේ ඒවාට රූප ශබ්දාදි ධාතූන් (අරමුණු) මුණ ගැසුණු අවස්ථාවලදී පමණය.

සිත හෘදය වස්තුව ඇසුරු කොට පවත්නේ ද පෙට්ටියක තිබෙන මැණිකක් සේ සෑම කල්හි එකක්ව තිබීම් වශයෙන් නොවේ. උපදින්නා වූ සිතක් ඇසිපිය වරක් හෙළන්නට ගතවන කාලයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණ කාලයකුදු නො පවත්නේය. සිත පමණ ඉක්මනින් නැති වන අන් වස්තුවක් නැත. එක් සත්ත්වයකු තුළ හට ගත්තා වූ එක් සිතක් තිබිය දී එය නිරුද්ධ වන තුරු තවත් සිතක් ද පහළ නො වන්නේය. එක සිතක් නිරුද්ධ වනු සමග ම ඒ සිත හා බැඳී පහළ වන්නාක් මෙන් දෙවන සිතක් පහළ වීම් වශයෙන්, භාවනා බලයෙන් චිත්ත ප්‍ර‍වෘත්තිය නැවැත්වූ අවස්ථාවන්හි හැර නිදන්නා වූ ද නො නිදන්නා වූ ද සෑම අවස්ථාවකදී ම නිවනට පැමිණෙන තුරු ම සත්ත්වයා තුළ සිත් පහළ වන්නේ ය.

මෙසේ පවත්නා වූ මේ චිත්ත පරම්පරාව නො නවත්වා බෙරයකට ගැසීම නිසා පවත්නා වූ ශබ්ද පරම්පරාවක් මෙන් දත යුතුය. නො නවත්වා දවසක් මුළුල්ලෙහි බෙරයකට ගැසුවහොත් බෙර හඬ දවසක් මුළුල්ලෙහි පැවැත්තේ ය යි කියනු ලැබේ. දවසක් මුළුල්ලෙහි තබා මොහොතකුදු පවත්නා බෙර හඬක් නො මැත්තේ ය. ගසා අත ඔසවනවාත් සමග ම ගැසීමෙන් හටගන්නා වූ හඬ නිරුද්ධ වන්නේ ය. එහෙත් එක එක හඬකට යාව තව තවත් හඬ හට ගැනීම් වශයෙන් බෙර හඬ පරම්පරාව එකක් සේ පැවති බැවින් දවස මුළුල්ලේ ම බෙර හඬ පැවැත්තේ ය යි කියනු ලැබේ. එමෙන් ම එක සිතක් නිරුද්ධ වනු සමග ම නිරුද්ධ වන සිත හා බැඳී හට ගන්නාක් මෙන් පසු පසු සිත් උපදනා බැවින් නිවනට පැමිණෙන තෙක් සිත පවත්නේ ය යි කියනු ලැබේ.

බෙර හඬ වැලක් සේ පවතින මේ සිත කඳු මුදුනකින් පහළට ගලා යන ගංගාවක් මෙන් ඉතා වේගයෙන් ඉක්මනින් ගලා යන්නේ ය. සත්ත්වයන් විසින් කරන්නා වූ එක් එක් ක්‍රියාවක් සිදු කිරීමට ලක්ෂ ගණනක් සිත් උවමනා ය. පහත් කොට තිබෙන අතක් ඔසවන්නේ ලක්ෂයක් පමණ සිත් වලිනි. එස වූ අත පහත් කරන්නේ ද ලක්ෂයක් පමණ සිත්වලිනි. යන කල්හි බිම තිබෙන පය වරක් ඔසවා ඉදිරියෙහි තබන්නේ ලක්ෂ ගණනක් සිත්වලිනි. අනිකකු කියන කථාවක එක එක වචනයක් තේරුම් ගන්නේ ලක්ෂ ගණනක් සිත්වලිනි. මෙසේ ඉතා වේගයෙන් පැවතීම චිත්තයාගේ ස්වභාවයයි.

සිත වනාහි දැනීමේ උපකරණය යි. කැපීමේ උපකරණය වූ පිහියෙන් අන් දෙයක් කැපෙනවා මිස කිසි කලෙක ඒ පිහිය ම නම් නො කැපෙන්නේය. එමෙන් දැනීමේ උපකරණය වූ සිතට අනිකක් දැනෙනු මිස සිත නමැති තමාගේ සැටි නො දැනෙන්නේ ය. එබැවින් සත්ත්වයෝ සිතේ සැටි තත්ත්වාකාරයෙන් නො දනිති. ඔවුහු බෙර හඬ වැල සේ පවත්නා වූ සිත් පරම්පරාව දීර්ඝ කාලයක් තිබෙන එක දෙයක් සේවරදවා ගෙන එය ආත්මය කොට ගනිති. එසේ ගෙන ඇතැමෙක් ඒ ආත්මය ගසකින් ගසකට ඉගිළ යන කුරුල්ලකු මෙන් ජාතියෙන් ජාතියට ශරීරයෙන් ශරීරයට යන දෙයක් හැටියට සලකති. ඇතැමෙක් පහනක් නිවී යන්නාක් මෙන් මරණින් අවසන් වන දෙයක් කොට සිතති. මේ දෙයාකාරය අතුරෙන් කෝකකින් වුවත් වරදවා ගෙන සිටින්නා වූ තැනැත්තාට ආර්‍ය්‍ය සත්‍ය ධර්මය වටහා ගත හැකි නො වේ. එබැවින් මෙය අවබෝධ කර ගැනීමට චිත්ත තත්ත්වය ද දැන සිටිය යුතුය.

ශරීරය පරණව දිරායාමෙන් හෝ ශරීරයාගේ පැවැත්වීමට වුවමනා ආහාර පානාදිය නො ලැබීමෙන් හෝ විෂම සෘතු, විෂම ආහාරාදිය නිසා ධාතූන්ගේ කෝපයෙන් හෝ අන් හේතුවකින් හෝ ශරීරය නො පවත්නා තැනට පැමිණි කල්හි උණුසුම් යකඩයක් සිසිල් දියෙහි ලූ කල්හි එහි උණුසුම නිවී යන්නාක් මෙන් ශරීරයෙහි ඒ ඒ තැන පවත්නා වූ යට කී නො බර නො පෙනෙන ධාතු ගණයට අයත් වූ චක්ෂු ශ්‍රෝත්‍රාදි ධාතූහු නිරුද්ධ වෙති. සිතට නිශ්ශ්‍ර‍ය වන දෙයක් ඒ ශරීරයෙහි නැති බැවින් ඉන්පසු එහි සිත් නො හට ගන්නේ ය. ශරීරය ක්‍රියා විරහිත වන්නේ ය. එකල්හි සත්ත්වයා මළේ ය යි කියනු ලැබේ.

සිතට බිම් වන ධාතූන් නිරුද්ධ වන්නා වූ මේ මරණාවස්ථාවෙහි තෘෂ්ණාව සහමුලින් නසා සිටියේ නම් සිත් පරම්පරාව ඔබ්බට නො ගොස් එතන දී ම සිඳී යන්නේ ය. ඔහුට එයින් දුක් ද කෙළවර වන්නේ ය. රහත් නො වූ සත්ත්වයා මේ අවස්ථාවේ දී සිටින්නේ ලෝකය දෙස බලා තෘප්තියට නො පැමිණ තවත් ලෝකය දෙස බැලීමට ඕනෑකම ඇතුව ය. ලොව ඇති හඬවල් ඇසීම ඇති නොවී තවත් හඬවල් ඇසීමට ඕනෑකම ද ඇතිව ය. ආඝ්‍රාණය කළ ගන්ධය ඇති නො වී තවත් ගන්ධයන් ආඝ්‍රාණය කිරීමට ඕනෑකම ද ඇතිව ය. රසයන් වැළඳුවා ඇති නොවී තවත් බොහෝ රසයන් වළඳන්නට ඕනෑකම ද ඇතිව ය. ස්ත්‍රී ස්පර්ශ පුරුෂ ස්පර්ශාදි නොයෙක් ස්පර්ශයන් ස්පර්ශ කළා ඇති නොවී තවත් බොහෝ දේ ස්පර්ශ කිරීමේ ඕනෑකම ද ඇතිව ය. ලෝකයෙහි සිටියා ඇති නො වී ඉදිරියට තව තව බොහෝ කලක් එක්තරා කෙනකු වශයෙන් ලොව සිටීමේ බලවත් ඕනෑකම ද ඇතිව ය. මේ ඕනෑකම් රාශිය වූ තෘෂ්ණාව සත්ත්වයාගේ චිත්ත පරම්පරාව හා බැඳී අනුශය වශයෙන් පවත්නේය.

අනාගත වස්තූන් සම්බන්ධයෙන් පවත්නා වූ මේ තෘෂ්ණාව මරණාසන්න චිත්තයෙහි පටන් ඉදිරියට භව බොහෝ ගණනකට ම දිග ය. මරණාසන්නාවස්ථාවෙහි ඒ ශරීරයෙහි පවත්නා වූ සිතට ආධාර වන ධාතූන් නිරුද්ධ වූයේ ද මරණාසන්න චිත්තයෙන් ඔබ්බට දික්ව තිබෙන මේ තෘෂ්ණානුශය පවත්නා බැවින් නිඃශ්‍ර‍ය වස්තූන් නිරුද්ධ වූයේ ද චිත්ත පරම්පරාව නො සිදේ. මැරෙන සත්ත්වයාගේ ශරීරය ඇසුරු කොට පහළ වූ අන්තිම සිත නිරුද්ධ වනු සමග ම ඒ සිතට අනතුරු ව ඒ සිත හා යාව ඉපදිය යුතු දෙවන සිත ඊට පෙර ජාතිවල දී හෝ ඒ ජාතියේ දී කරන ලද කුශලා’කුශල කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයකින් ඉදිරිපත් කර දෙන ලද, කර්මය, කර්ම නිමිත්තය, ගති නිමිත්තය යන තුනෙන් එක්තරා දෙයක් අරමුණු කිරීම් වශයෙන් ගෙන, එහි එල්බ උපදනේය. එසේ උපදනා වූ සිත දෙවන භවයෙහි පළමුවන සිත ය. එයට ප්‍ර‍තිසන්ධි චිත්තය යි කියනු ලැබේ. ඒ ප්‍ර‍තිසන්ධි චිත්තයට නිශ්ශ්‍ර‍ය වස්තුවක් කර්මානුභාවයෙන් හා ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ ආනුභාවයෙන් ද ඒ සිත සමග ම හට ගන්නේ ය. එය ප්‍ර‍තිසන්ධි චිත්තයට නිශ්ශ්‍ර‍ය වන්නේ ය. එතැන් පටන් ඒ වස්තුව ඇසුරු කොට සිත් පරම්පරාව පවත්නේ ය.

ප්‍ර‍තිසන්ධි විඥානය පහළ වන්නා වූ අවස්ථාවෙහි එය හා සමග තවත් රූප ස්වල්පයක් ද පහළ වන්නේ ය. ඒ සියලු ම රූප පිණ්ඩය මිනිස් ඇසට නො පෙනෙන තරම් කුඩා දෙයකි. එයට කලල රූපය යි කියනු ලැබේ. ඒ කලල රූපය මතු හටගන්නා වූ ශරීරයට බීජය වන්නේ ය. ප්‍ර‍තිසන්ධි විඥානය සහිත වූ මේ කලල රූපය මිය ගිය තැනැත්තහු ගේ ශරීරයෙන් ආ දෙයක් නොව, අමුතුවෙන් හට ගත් දෙයකි. නමුත් ප්‍ර‍තිසන්ධි චිත්තය මිය ගියා වූ තැනැත්තාගේ චිත්ත පරම්පරාවට අයත් දෙයක් වන බැවින් අභිනව භවයෙහි උපන් තැනැත්තා මිය ගිය පුද්ගලයාගෙන් අනිකකුදු නොවේ.

ශරීර බීජය වූ කලල රූපය කුඩා වූ ද මෘදු වූ ද දෙයක් බැවින් එයට පිහිටීමට මෘදු වූ ද වැඩීමට වුවමනා පෝර ඇත්තා වූ ද ස්ථානයක් වුවමනා ය. ශුක්‍ර‍ ධාතුව එයට ඉතාම යෝග්‍ය දෙයකි. විඥානය මාතෘ ගර්භයට පැමිණෙන්නේ එහෙයිනි. ශුක්‍ර‍ ධාතුවෙහි මෙන් ම කුණු වූ බොහෝ වස්තුවල ද මෘදු බව හා පෝර ගතිය ද ඇත්තේ ය. කුණු වූ දේවල බොහෝ සත්ත්වයන් උපදිනුයේ ද එබැවිනි. මේ නො දන්නෝ කෙළ පඩික්කම් ආදියෙහි උපදනා සත්ත්වයෝ එයින් ම උපන් පෙර නො සිටි සත්ත්වයෝ ය යි වරදවා ගනිති. අභිනව සත්ත්වයන්ගේ උත්පත්තියක් බුද්ධ ධර්මයෙහි උගන්වා නැත. පවිත්‍ර‍ ස්ථානයන්හි සත්ත්වෝත්පත්තියක් නො වන්නේ කලල රූපයාගේ පිහිටීමට යෝග්‍ය වූ මෘදු බව හා පෝර ගතිය ඒවායින් නො ලැබෙන බැවිනි.

පවිත්‍ර‍ ස්ථානයන්හි උපදින්නා වූ සත්ත්ව කොටසක් ද ඇත්තේ ය. ඔවුන්ගේ උත්පත්තිය ප්‍ර‍තිසන්ධි විඥානය සමග ම සකලාංග ප්‍ර‍ත්‍යංගයන්ගෙන් සම්පූර්ණ වූ ශරීරයකින් යුක්තව ම සිදුවන්නේ ය. ඉපදීමෙන් පසු වැඩීමක් ඔවුනට නැත්තේ ය. ඔවුනට ‘ඕපපාතික’ සත්ත්වයෝ යයි කියනු ලැබේ. නේරයික සත්ත්වයෝ ද ප්‍රේතයෝ ද දෙවියෝ ද බ්‍ර‍හ්මයෝ ද මේ ඕපපාතික සත්ත්ව ගණයට ඇතුළත් වන්නෝ ය.

විඥානය ඇසට නො පෙනෙන ස්පර්ශ නො වන සියුම් දෙයකි. චිත්ත පරම්පරාව හා බැඳී පවත්නා වූ තෘෂ්ණානුශය එයට ද වඩා සියුම් දෙයකි. නිරුද්ධ වූ කුශලා’කුශල චේතනාවන්ගෙන් ඉතිරි ව තිබෙන කර්ම ශක්තිය ද අනුශය ධර්මයක් සේ ම සියුම් දෙයකි. අභිනව භවයෙහි උපන්නහුගේ ශරීරය නිර්මාණය කරන්නේ පරම සූක්ෂ්ම වූ විඥාන, තෘෂ්ණා, කර්ම යන මේ ධර්ම තුනෙනි. මේ ධර්ම තුනට සෘතු ආහාරාදි බාහිර හේතූන්ගේ උපකාරත්වයෙන් තොර ව අපගේ ශරීර වැනි ඖදාරික ශරීර නිර්මාණය කළ නොහේ. නිර්මාණය කළ හැකි වනුයේ සිතට අනුව පවත්නා සූක්ෂම ශරීරයකි. එබැවින් බාහිර දෙයක උපකාරයක් නො ලැබ විඥාන තෘෂ්ණා කර්මයන් ගේ ශක්තියෙන් නිර්මිත දිව්‍ය බ්‍ර‍හ්මාදි ඕපපාතික සත්ත්වයන් ගේ ශරීර, සුළං - සඳරැස් - හිරුරැස් - ගිනිරැස් ආදි සියුම් දේවලට වඩා අතිශයින් සියුම් ය. ඒවා කැඩපත්වල පෙනෙන, දියෙහි පෙනෙන ඡායාරූප බඳුය. මිනිස් ඇසට නො පෙනෙන්නේ ය. මිනිස් කයින් ස්පර්ශ ද නො කළ හැක්කේ ය. සිතට අනුකූලව ම ඒ ශරීරය පවත්නා බැවින් තම තමාගේ ශරීර කැමති සේ කුඩා මහත් කරගන්නට ද විකෘතියට පමුණුවා ගන්නට ද ඔවුනට අපහසුවක් නැත. සිතීමෙන් ම ඒවා සිදුවන්නේ ය. නො බර ධාතූන්ගෙන් නිර්මිත බැවින් සිතීම් මාත්‍රයෙන් ම ඔවුන්ගේ ශරීර අහසෙහි ඕනෑ තැනකට ගෙන යා හැකි ය. මරණය වීමත් සමග ම පහනක් නිවී ගියාක් මෙන් ඒ ශරීරය අතුරුදහන් වන්නේ ය. මළ සිරුරක් ඉතිරි නො වන්නේ ය. ඔවුන්ගේ වස්ත්‍රාභරණ - යාන - වාහන - විමානාදි සියල්ලක් නිර්මිත වී තිබෙන්නේ මිනිස් ඇසට අවිෂය වූ ධාතු වර්ගයෙන් ම ය.

ශරීරයෙහි දොස් දැක රූපයෙන් දුරුවනු කැමැත්තෙන් රූප තෘෂ්ණාව දුරුකොට අරූප ධ්‍යාන උපදවා ගත්තෝ මරණින් මතු විඥාන මාත්‍රයෙන් ම උපදනාහු ය. රූප තෘෂ්ණාව නැති බැවින් රූපයට ඔවුන් විරුද්ධ බැවින් ප්‍ර‍තිසන්ධි විඥානය සමඟ රූපයක් ඔවුනට පහළ නොවේ. ඔවුන්ගේ විඥාන මාත්‍ර‍ය ම අහස්හි පවත්නේ ය. ඔවුනට අරූපී සත්ත්වයෝය යි කියනු ලැබේ. සිතෙහි දොස් දැක සිත් නැති කර ගන්නා වූ අදහසින් ධ්‍යාන භාවනා කළා වූ ඇතැම්හු සංඥා විරහිතව රූප මාත්‍රයෙන් උපදිති. ඔවුනට අසඥ සත්ත්වයෝය යි කියනු ලැබේ. ධ්‍යාන බලය අවසන් වූ කලෙක නැවතත් ඔවුනට පෙර පැවති චිත්ත පරම්පරාවට අයත් ව සිත් පහළ වන්නේ ය.

ප්‍ර‍තිසන්ධි චිත්තය සමග සර්වාඞ්ග ප්‍ර‍ත්‍යඞ්ග සම්පූර්ණ ශරීරයන් පහළ නො වන්නා වූ මනුෂ්‍යාදීන්ට ඔවුන්ගේ ප්‍ර‍තිසන්ධි චිත්තය හා පහළ වූ කලල රූපය, සෘතු ආහාරයන්ගේ උපකාරයෙන් වර්ධනය වී සකලාංග ප්‍ර‍ත්‍යංග සම්පූර්ණ ශරීරයක් සෑදෙන්නේ ය. ශරීරය සෑදෙන කල්හි ද එය සත්ත්වයාගේ චිත්ත සන්තාන ප්‍ර‍තිබද්ධ තෘෂ්ණාවට හා මව්පියන්ගේ ධාතුවලට ද ලබන්නා වූ සෘතු ආහාර වලට ද අනුරූප ව නොයෙක් ආකාරයෙන් සෑදෙන්නේ ය. ලෝකය දෙස බලනු කැමති බව ශබ්ද අසනු කැමති බව යනාදි තෘෂ්ණාවන් නිසා ඒ ඒ දෙය කිරීමට වුවමනා චක්ෂුරාදි ඉන්ද්‍රියයෝ ඒ ඒ ශරීරයෙහි පහළ වන්නා හ. ශරීර සටහන මවුපියන්ගේ ධාතු අනුව වන්නේ ය. ශරීරයේ බලවත්කම් දුබලකම් යනාදිය මවුපියන්ගේ ධාතූන් හා සෘතු ආහාරයන් අනුව ද කර්ම ශක්තිය අනුව ද සිදුවන්නේ ය. ස්ත්‍රීන්ට තෘෂ්ණාව හට ගනුයේ ස්ත්‍රී අදහස් වලට අනුවය. පුරුෂයන්ට තෘෂ්ණාව හට ගන්නේ පුරුෂ අදහස් වලට අනුව ය. ස්ත්‍රී අදහස්වලට අනුව පැවති තෘෂ්ණාව ස්ත්‍රී ශරීරයක් ඇති කිරීමට ද පුරුෂ අදහස් අනුව පවත්නා තෘෂ්ණාව පුරුෂ ශරීරයක් ඇතිවීමට ද හේතු වන්නේ ය. පුරුෂයන්ගේ තෘෂ්ණාව පවත්නේ පුරුෂාකාරයෙන් බැවින් මතු උපදනා කල්හි පුරුෂයෝ පුරුෂයන් ම වන්නාහු ය. ස්ත්‍රීන්ගේ තෘෂ්ණාව ස්ත්‍රී ආකාරයෙන් යුක්ත බැවින් මතු උපදනා කල්හි ස්ත්‍රීහු ස්ත්‍රීන් ම වන්නාහු ය. මෙය වෙනස් වෙතත් වෙනස් වන්නේ කලාතුරකිනි.

පඤ්චස්කන්ධයාගේ ඇතැම් කොටස් වලට හා ආකාර විශේෂවලටත් තෘෂ්ණාවෙන් අන්‍ය දේවල් ද හේතු වන නමුත් තෘෂ්ණා හේතුවෙන් ප්‍ර‍ථමකොට ප්‍ර‍තිසන්ධි විඥානය භවාන්තරයට නො පැමිණියේ නම් අන් හේතූන්ගෙන් ස්කන්ධයන් නූපදනා බැවින් සියල්ලට තෘෂ්ණාව හේතු වන බව ද තෘෂ්ණාව ම ප්‍ර‍ධාන හේතුව බව ද කිව යුතුය. පඤ්චස්කන්ධය එයට ඇලුම් කරන්නහුට අනේකාකාරයෙන් පීඩා කරන බැවින් දුකෙකි. පඤ්චස්කන්ධය පහළ වුවහොත් එය හා බැඳී පවත්නා වූ එයින් වෙන් නොවන්නා වූ ජාති ජරා මරණ ශෝක පරිදේවාදි දුඃඛයෝ පහළ වූවාහු ම වෙති. එබැවින් ජාති ජරා මරණාදීන්ගේ උත්පාදකයා ද තෘෂ්ණාව ම බව කිව යුතුය. තෘෂ්ණාවක් නොමැති නම් මේ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය, ජාති ජරා මරණාදි දුඃඛස්කන්ධ නො හට ගන්නේ ය. තෘෂ්ණාව ඇතහොත් මේ දුක්ඛස්කන්ධය නොහට ගැනීම ද නොවෙයි. ඒකාන්තයෙන් හට ගන්නේය. එබැවින් තෘෂ්ණාව ලෝකයේ මැවුම් කරුවා බව කිව යුතුය. තෘෂ්ණාවෙන් අන්‍ය මැවුම් කරුවෙක් නැත්තේය. මැවුම්කරු වශයෙන් සලකන්නා වූ යම් කිසි පුද්ගලයෙක් වේ නම් ඔහු ද තෘෂ්ණාවෙන් ම මවන ලද්දෙක් වන්නේ ය. අතීතයෙහි ද මේ ස්කන්ධයෝ තෘෂ්ණා හේතුවෙන් ම හට ගත්තාහු ය. තෘෂ්ණාවෙන් ම මවන ලද්දෝ ය. අනාගතයෙහි හට ගන්නා වූ ස්කන්ධයෝ ද තෘෂ්ණාවෙන් ම හටගන්නාහුය. තෘෂ්ණාවෙන් ම මවනු ලබන්නාහු ය.

දුඃඛස්කන්ධ සංඛ්‍යාත පඤ්චස්කන්ධය හටගත් කල්හි පඤ්චස්කන්ධ සංඛ්‍යාත ඒ විෂ වෘක්ෂයෙහි තෘෂ්ණා සංඛ්‍යාත විෂ ඵලය හට ගන්නේ ය. පඤ්චස්කන්ධයට ම අයත් වූ චක්ෂුරාදි ඉන්ද්‍රියයෝ ද ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද රූප ශබ්දාදි ආරම්මණයෝ ද එයට ආහාර වන්නාහුය. ඒ විෂ ඵලයෙන් නැවත ද දුඃඛස්කන්ධ සංඛ්‍යාත පඤ්චස්කන්ධ වෘක්ෂයන් මවන්නේය. එහි ද තෘෂ්ණා සංඛ්‍යාත විෂ ඵලය නැවතත් හට ගන්නේ ය. එයින් නැවතත් පඤ්චස්කන්ධයක් මවන්නේ ය. මේ ක්‍ර‍මයෙන් බීජයෙන් වෘක්ෂයත් වෘක්ෂයෙන් බීජයත් හට ගැනීම් වශයෙන් වෘක්ෂ පරම්පරාව කල්පාන්තය දක්වා පවතින්නාක් මෙන් තෘෂ්ණාවෙන් ස්කන්ධ පඤ්චකයත් ස්කන්ධ පඤ්චකයෙන් තෘෂ්ණාවත් ඇතිවීම් වශයෙන් මේ දුක්ඛස්කන්ධ පරම්පරාව අර්හත් මාර්ග ඥානයෙන් තෘෂ්ණාව සහමුලින් නසන තාක් ම කොනක් නැත්තා වූ අනාගත කාලය මුළුල්ලෙහි පැවත යන්නේය. එබැවින් දුක්ඛෝත්පත්තියේ සැබෑ හේතුව සොයා ගත්තා වූ සර්වඥයන් වහන්සේ මේ තෘෂ්ණාව දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍ය ය යි වදාළ සේක.

සමුදය සත්‍යයාගේ ස්වභාව සතර

මේ දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය පටිසම්භිදා මග්ග පාළියෙහි “සමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සංයොගට්ඨො පළිබොධට්ඨො” යනුවෙන් වදාරන ලද චතුර්විධ සමුදය ස්වභාවයෙන් වශයෙන් ද දත යුතු ය.

දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය යි කියන ලද තෘෂ්ණාවෙහි ස්වභාව සතරෙකි. ඔවුහු නම් (1) ආයූහනට්ඨය (2) නිදානට්ඨය (3) සංයෝගට්ඨය (4) පළිබෝධට්ඨය යන මොවුහු ය.

1. ආයූහනට්ඨය

පඤ්චස්කන්ධ සංඛ්‍යාත වූ ද ජාති ජරා මරණ ශෝක පරිදේවාදි වූ ද දුක්ඛස්කන්ධය නැවත නැවත රැස් කරන්නා වූ උපදවන්නා වූ මවන්නා වූ ස්වභාවය ආයූහනට්ඨ නමි.

පඤ්චස්කන්ධය වහා නො නැසෙන දීර්ඝ කාලයක් පවත්නා දෙයක් හැටියට හෝ රූපය නැසෙතත් පඤ්චස්කන්ධයෙන් සමහර කොටස් සෑම කල්හි ම පවත්නා දේවල් හැටියටත් වරදවා පිළිගෙන අනේකාදීනවයෙන් යුක්ත වූ පඤ්චස්කන්ධය හොඳ දෙයකැයි වරදවා පිළිගෙන මහා දුක්ඛස්කන්ධයක් වූ පඤ්චස්කන්ධයා ගේ පැවැත්ම සුවයක් කොට වරදවා පිළිගෙන සත්ත්වයා යම් තාක් මේ පඤ්චස්කන්ධයට ඇලුම් කෙරේ ද, ඒ තාක් ඔහුට මේ පඤ්චස්කන්ධය අන් සැමට ම වඩා උතුම් දෙය හැටියට ද, කොයි ලෙසකින් මුත් පවත්වා ගතයුතු දෙයක් හැටියට ද, පඤ්චස්කන්ධය නැති වෙතහොත් එයට වඩා මහත් නපුරක් මහත් හානියක් මහත් විපතක් තවත් නැති සැටියට ද වැටහෙන්නේ ය.

එ බැවින් ඔහු පඤ්චස්කන්ධය සෑම කල්හි ම පවත්වා ගැනීමට නොයෙක් අයුරින් මුළු ශක්තිය ම යොදා ක්‍රියා කරන්නේ ය. ඔහු වර්තමාන භවයෙහි වූ මේ ශරීරයෙහි බිඳි බිඳී යන ගෙවි ගෙවී යන කොටස් ආහාර පානාදිය සේවනය කොට නැවත නැවත උපදවන්නේ ය. සුඛ වේදනාවන්ගේ උත්පත්තියට රූප ශබ්දාදීන් සපයා ඒවායේ උපකාරයෙන් නූපන් සුඛ වේදනා උපදවන්නේ ය. නූපන් සංඥා සංස්කාර විඥානයන් ද උපදවන්නේ ය. ලොව වෙසෙන මනුෂ්‍යයන් විසින් හා අන්‍ය සත්ත්වයන් විසින් ද දිවා රාත්‍රී දෙක්හි කරන යම් ක්‍රියා රාශියක් වේ නම් ඒ සියල්ල ම වාගේ කරනුයේ ද ස්කන්ධයන් පිණිස ම ය. පින් කරන්නවුන් විසින් ඒවා කරනුයේ ද බොහෝ සෙයින් මතු ජාති වලදී ලබන ස්කන්ධයන් පිණිස ම ය. ස්කන්ධයන් පිණිස නොව විමුක්ති සුවය පිණිස හෙවත් ස්කන්ධ දුඃඛයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරන්නවුන් ඇති නම් ඇත්තේ මුළු ලොව ම ටික දෙනෙකි. සත්ත්වයන් විසින් මෙසේ රෑ දවල් දෙක්හි නො නවත්වා ම අභිනව ස්කන්ධයන් ලැබීම සඳහා හෙවත් ශරීරයෙහි රූප උපදවනු සඳහා අභිනව සුඛ සෝමනස්ස වේදනා උපදවනු සඳහා අභිනව විඥාන උපදවනු සඳහා ක්‍රියා කරන බැවින් ඔහුට නැවත නැවතත් වර්තමාන භවයෙහි ද අනාගත භව පරම්පරාවෙහි ද අභිනව රූප වේදනා සංඥා සංස්කාර විඥානයෝ උපදනාහු ය.

ලෝකයෙහි යම් දුකෙක් වේ නම් ඒ සියල්ල ම උපදිනුයේ අන් තැනක නොව ස්කන්ධයන් කෙරෙහි ය. දුක්වලට උත්පත්ති ස්ථාන වන බැවින් ස්කන්ධයෝ ම ද දුක්යහ. ස්කන්ධ පහළ වන කල්හි ඒවා හා බැඳී ජාති ජරා මරණාදි දුඃඛයෝ ද පහළ වන්නාහු ම ය. එබැවින් ස්කන්ධ උපදවා ගනු පිණිස කරන්නා වූ ව්‍යායාමයෙක් වේ නම් එය දුක් උපදවා ගනු පිණිස කරන ව්‍යායාමයකි. යමෙක් ස්කන්ධ පිණිස ව්‍යායාම කෙරේ නම් ඔහු දුක් උපදවාගනු පිණිස ව්‍යායාම කරන්නෙකි. ඉදින් සත්ත්වයා පඤ්චස්කන්ධය දුක බව දැන පඤ්චස්කන්ධයේ ආදීනව රාශිය දැන එය කෙරෙහි කලකිරී එද එපා වී එය කෙරෙහි පවත්නා වූ ඇල්ම සර්වාකාරයෙන් මඳකුදු ඉතිරි නො කොට නැසුයේ නම් ඔහු වර්තමාන භවයෙහි ඇති වන දුක් නසාගනු පිණිස ආහාර පානාදිය සේවනය කරන්නේ වී නමුත් ස්කන්ධයන්ට ආශාවෙන් ස්කන්ධ උපදවා ගනු පිණිස කිසි ම ව්‍යායාමයක් නො කරන්නේ ය. අනාගතස්කන්ධ නො පතන්නේ ය. යමෙක් වර්තමාන භවයේ අභිනව ස්කන්ධ උපදවා ගැනීම සඳහා ද අනාගත භවයෙහි ස්කන්ධ උපදවා ගැනීම සඳහා ද ක්‍රියා කෙරේ නම් ස්කන්ධ පතා නම් ඔහු එසේ කරනුයේ අනිකක් නිසා නොව ඔහු තුළ පවත්නා වූ තෘෂ්ණාව නිසා ම ය. එබැවින් අභිනව ස්කන්ධ ඉපදවීමෙහි ප්‍ර‍ධාන හේතුව තෘෂ්ණාව වේ. ප්‍ර‍ධාන හේතුව බැවින් ඒ තෘෂ්ණාවට දුක් රැස් කරන්නා වූ ධර්මය ය යි ද දුක් උපදවන්නා වූ මවන්නා වූ ධර්මය ය යි ද කියනු ලැබේ.

ඒ ඒ පුද්ගලයන්ගේ සන්තානයෙහි හටගන්නා වූ තෘෂ්ණාව හැර පඤ්චස්කන්ධ සංඛ්‍යාත සත්ත්වයන් මවන්නා වූ අන්‍ය ඊශ්වරයෙක් හෝ දෙවියෙක් හෝ බඹෙක් හෝ නැත්තේය. ඉදින් ඊශ්වරාදීහු සත්‍ය වශයෙන් ම ඇත්තාහු වෙත් නම් ඔහු ද රූප වේදනා සංඥා සංස්කාර විඥානයෝ ම ය. ඊශ්වරාදි නම් වලින් හඳුන්වන ඒ පඤ්චස්කන්ධයෝ ද ඔවුන් තුළ හටගත් තෘෂ්ණාවෙන් ම මවන ලද්දෝ ය. එසේ වූ ඔවුහු අන්‍යයන් කෙසේ මවත් ද? ඔවුනට අන්‍යයන් මැවිය හැකි ශක්තියක් ද නැත්තේ ය. මැවිය හැකි ශක්තිය ඇත්තේ තෘෂ්ණාවෙහි ය. එබැවින් තෘෂ්ණාව ම මැවුම් කරුවා බව දත යුතුය.

තෘෂ්ණාවට නොයෙක් දේ කළ හැකි බල විශේෂයක් ඇති බව නුවණැතියනට ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් ම දත හැකි පරම සත්‍යයකි. යම් කිසිවකුට යම් කිසි දෙයක් කිරීමට ආශාව ඇති වුවහොත් ඒ දෙය නො කර සිටීම ඔහුට මහත් පීඩාවක් මහත් අමාරුවක් සේ වැටහෙන්නේ ය. එබැවින් ආශාව ඇති වූ දෑ කරන්නට ම සත්ත්වයෝ උත්සාහ කරති. සමහර විට සමහරු සිදු කිරීමෙන් තමහට අනර්ථ සිදු වන්නා වූ සමහර වැඩ අනර්ථ සිදුවන බව දැන දැන ම ද කරති. ආශාව ඇති වූ දෙය නො කර සිටීම සත්ත්වයනට පීඩාවක් වනුයේ ද, ඇති වූ ආශාව නිසා සත්ත්වයන් විසින් තමහට අනර්ථ පිණිස පවතින දෑ කරනුයේ ද, සත්ත්වයා ලවා ඒ ඒ දේ කරවන ශක්තියක් තෘෂ්ණාවෙහි ඇති බැවිනි. නො කර ම නො සිටිය හැකි පරිදි, කරන තුරු ම සත්ත්වයා පෙළන ස්වභාවයක් තෘෂ්ණාවෙහි නො මැති නම් ඒ සත්ත්වයෝ අහිත දෑ ඒ බව දැන දැන ම නො කරන්නාහු ය. කරන තුරු සත්ත්වයන් පෙළන ඒ ශක්තිය අනිකක් නොව තෘෂ්ණාව ගේ උත්පාදක ශක්තිය ම ය.

තෘෂ්ණාවෙහි ඇත්තා වූ ශක්තිය කාහටත් ප්‍ර‍කට දෙයකි. සත්ත්වයා ක්‍රියා කරන්නේ යයි කීම සම්මුති කථාවෙකි. පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක් නැත. තෘෂ්ණාව හේතු කොට ඒ සන්තානයෙහි ක්‍රියා සාධක චේතනා පහළ වූ කල්හි ඒ බව සම්මුති කථාවෙන් කියන විට සත්ත්වයා වැඩ කරන්නේ ය යි කියනු ලැබේ. සත්ත්ව සන්තානයෙහි පහළ වන්නා වූ ඒ ක්‍රියා කොටස සංස්කාර ස්කන්ධය යි. තෘෂ්ණාවෙන් ක්‍රියා සංඛ්‍යාත සංස්කාර උපදවන්නාක් මෙන් ඉතිරි ස්කන්ධයෝ ද උපදවනු ලැබෙති. ජීවත්ව සිටින්නා වූ කාලයේ දී තෘෂ්ණා හේතුවෙන් ඒ සන්තානයෙහි වේදනා සංඥා සංස්කාර විඥානයන් පහළ වන්නාක් මෙන් ම සත්ත්වයා මැරෙනු සමග ම ඒ තෘෂ්ණාව විසින් තවත් කර්මාදි හේතූන්ගේ ද සහායත්වය ලැබ ස්කන්ධ පසක් හෝ ස්කන්ධ සතරක් හෝ එක ම ස්කන්ධයක් හෝ පහළ කරවන්නේ ය. එයට අනාගත භවයට පැමිණීම යයි ද අනාගත භවයෙහි ඉපදීම ය යි ද කියනු ලැබේ. ලෝකයෙහි යම් තාක් සත්ත්වයෝ වෙත් නම් ඒ සියල්ලෝ ම මෙසේ තෘෂ්ණාවෙන් මවන ලද්දෝ ය. සියලු සත්ත්වයන්ගේ මැවුම්කාරයා තෘෂ්ණාව ම ය.

2. නිදානට්ඨය

වර්තමාන ස්කන්ධ පඤ්චකයාගේ භේදය වූ මරණය සිදු වෙනවාත් සමග ම අභිනව ස්කන්ධ පඤ්චකයක් ලබා දෙන්නා වූ ස්වභාවය නිදානට්ඨ නම් වේ.

තෘෂ්ණාව සර්වාකාරයෙන් නිරවශේෂයෙන් මතු කවර කලෙක වත් නූපදනා පරිදි නැසුවා වූ තැනැත්තේ මරණින් මතු නූපදනේ ය. යමකු තෘෂ්ණාව ප්‍ර‍හාණය නො කොට තෘෂ්ණාවෙන් යුක්තව කාලක්‍රියා කළ හොත් ඔහු ගේ වර්තමාන ස්කන්ධයන්ගේ භේදයට අනතුරු ව ම ඇසිපිය වරක් හෙලීමට ගතවන කාලය තරම් කාලයක් ගතවන්නට ද ප්‍ර‍ථම තෘෂ්ණා හේතුවෙන් ඔහුගේ නිරුද්ධ වූ ස්කන්ධයන් ගේ පරම්පරාවට අයත් ව අභිනව ස්කන්ධයෝ ජාතියක් ජාතියක් පාසා පහළ වන්නාහ. තෘෂ්ණා හේතුවෙන් පහළ වීමය යනු තෘෂ්ණාව විසින් ඉපදවීම ය. තෘෂ්ණාව විසින් සිදු කරන්නා වූ ඒ ජාතියක් ජාතියක් පාසා වහ වහා අභිනව ස්කන්ධ ඉපදවීම තෘෂ්ණාවෙන් යුක්ත සත්ත්වයා හට අභිනව ස්කන්ධ නැවත නැවත ගෙන දීමකි. නැවත නැවත ලබා දීමකි. එබැවින් තෘෂ්ණාව නිදානට්ඨයෙන් යුක්ත යයි කියනු ලැබේ.

3. සංයෝගට්ඨය

ස්කන්ධ පඤ්චක සංඛ්‍යාත දුක්ඛයෙන් මිදී දුක්ඛ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට යා හැකි නො වන පරිද්දෙන් ස්කන්ධ පඤ්චක සංඛ්‍යාත දුක්ඛයෙහි සත්ත්වයා තදින් බඳින්නා වූ ස්වභාවය සංයෝගට්ඨය නමි.

යම් තාක් සත්ත්වයා ස්කන්ධ හොඳ දේවල් හැටියට සැප හැටියට ගෙන ඒවා කෙරෙහි ඇලුම් කෙරේ නම් ඒ තාක් ඔහු ගේ සිත ස්කන්ධයන් දෙසට ම නැමී බර වී ඇදී තිබෙන බැවින් ගසෙක බඳිනු ලැබ සිටින ගවයාට ඒ බන්ධනය පවත්නා තුරු ගස හැර ගසින් බැහැරට යා හැකි නොවන්නාක් මෙන් ඔහුට පඤ්චස්කන්ධය හැර පඤ්චස්කන්ධයෙන් වෙන් වැ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයාගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ක්ෂේම භූමියට ළඟාවිය නො හැක්කේ ය. ගසැ බඳිනු ලැබූ ගවයා කඹය දිග ඇති තෙක් ගොස් නැවත ගස මුලට ම පැමිණෙන්නාක් මෙන් වර්තමාන ස්කන්ධයන්ගේ නිරෝධය වූ මරණය සිදු වෙනවාත් සමග ම ඔහුගේ චිත්ත සන්තතිය හා සම්බන්ධ වී පවත්නා වූ අනාගත ස්කන්ධයන් කරා ඔහු යන්නේ ය. අනාගත ස්කන්ධයන් කරා යාමය යනු අනාගත භවයට පැමිණීම ය. ස්කන්ධයන් වෙතට ම මිස ස්කන්ධ හැර අන් අතකට නො යා හැකි සේ සත්ත්වයා ස්කන්ධයන් හා බැඳී සිටින්නේ ඔහු තුළ පවත්නා වූ තෘෂ්ණාවෙනි. එය සත්ත්වයා අනාගත ස්කන්ධයන් බඳින රැහැනක් වැනි ය. තෘෂ්ණාව සත්ත්වයා ස්කන්ධයන් හා බඳින ස්වභාවය ඇති ධර්මයකැ යි කියන ලද්දේ එහෙයිනි. තෘෂ්ණාව නමැති රැහැනින් එය පවත්නා තුරු සත්ත්වයා ස්කන්ධයන් හා බැඳී සිටින්නේ ය. දුක්ඛයෙන් නො මිදෙන්නේ ය.

සත්ත්වයන් ස්කන්ධයන් කෙරෙහි බඳින්නා වූ මේ තෘෂ්ණාව නමැති රැහැන ඉතා ශක්තිමත් දෙයකි. එය කැඩීම කැපීම අති දුෂ්කර වැඩෙකි. එය සිඳීමට සමර්ථ වූ එක ම ආයුධය නම් මාර්ගඥාන නමැති කඩුවය. අන් කිසි ම අවියකින් එය සිඳිය හැකි නො වේ.

සසර දුක් තරමක් දුරට දැක ඉන් මිදෙන්නට ඕනෑය, නිවන් ලබන්නට ඕනෑ යයි පින් කරමින් “මම සසර දුකින් මිදී නිවනට පැමිණෙම්වා! මට මෙයින් නිවන් ලැබේවා” යි නිවන් පත පතා පින් කරන්නකු වෙත එ කෙණෙහි ම සතුන් නිවනට පැමිණ විය හැකි බලයක් ඇති කෙනකු පැමිණ “පින්වත! ඔබ දැන් කලක සිට ම නිවන් පත - පතා වෙහෙස වන්නෙහි ය. මා ආයේ ඔබගේ ප්‍රාර්ථනාව සිදු කර දීමට ය. වහා මා හා එන්න. අද ම ඔබ නිවනට පමුණුවන්නෙමිය” යි කථා කළ හොත් එකල්හි නිවන් පත පතා පින් කරන්නාගෙන් ලැබෙන පිළිතුර නම් “අනේ හාමුදුරුවනේ තවම මම එයට ලෑස්ති නැත. මට තව වැඩ ටිකක් තිබෙනවා ය. ඒ ටිකත් ඉවර කර මම පසුව යන්නට සූදානම් වෙමිය” කියා ය. වැඩ ටිකක් තිබෙන මේ නිවන් සොයන්නා වෙත තව වර්ෂ දහයකින් නිවනට පමුණුවන්නා පැමිණ නිවන් යන්නට කථා කළ හොත් එදාට ඔහුගෙන් ලැබෙන්නේ ද ඒ පිළිතුර ම ය. ඔහු නිවන් පත - පතා සිට ගෙනත් මෙබඳු පිළිතුරක් දෙනුයේ තෘෂ්ණා බන්ධනයේ දෘඪත්වය නිසා ය. තෘෂ්ණා බන්ධනය සිඳීම දුෂ්කර නිසා ය. ලෝකයේ නිවන් පතා පින් කරන්නවුන් නිවනට පමුණුවන්නා වූ කෙනෙක් නම් නැත. කියන ලදුයේ තෘෂ්ණා බන්ධනයේ දෘඪත්වය දැන ගැනීමට උපමා කථාවෙකි. මේ උපමා කථාවෙන් තෘෂ්ණා බන්ධනයේ දෘඪත්වය වටහා ගත යුතු ය.

4. පළිබෝධට්ඨය

සසර කලකිරී නිවන් මගට බැස දුකින් මිදී නිවනට පැමිණෙනු පිණිස පිළිවෙත් පුරන්නා හට බාධා කරන්නා වූ ස්වභාවය - ප්‍ර‍තිපත්තිය බිඳ හෙළන්නා වූ ස්වභාවය පිළිබෝධට්ඨ නමි.

මේ සත්ත්වයාගෙන් සමහර කෙනෙක් නැණවතුන්ගෙන් සසර දුක් ගැන අසා, පඤ්චස්කන්ධයාගේ ආදීනව අසා, නිවනෙහි ගුණ අසා සසර කලකිරෙති. ඇතමෙක් තමාට ම විඳින්නට සිදු වූ දරුණු දුක් නිසා ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් ම දුක් දැන සසර කලකිරෙති. මෙසේ සසර කලකිරුනවුන්ගෙන් ඇතමෙක් පස්කම් සුව සෙවීම මඳකට නවත්වා මේ ප්‍ර‍තිපත්තියෙන් දුක් කෙළවර කරමි ය නිවන් පසක් කරන්නෙමිය’යි නිති පන්සිල් රකින්නට ද, පොහොය අටසිල් රකින්නට ද, සමථ - විදර්ශනා භාවනා කිරීමට ද ගිහි ගෙයි සිට කළ හැකි තවත් පින්කම් කිරීමට ද පටන් ගනිති. ඇතමෙක් ගිහි ගෙය නිවන් ලැබීමේ ප්‍ර‍තිපත්තියට බොහෝ බාධා ඇති තැනකැයි සලකා ගිහිගෙය හැර ධනය හැර නෑයන් හැර මිතුරන් හැර දුකින් මිදෙනු පිණිස බුදු සස්නෙහි පැවිදිව පිළිවෙත් පුරන්නට පටන් ගනිති.

මෙසේ පිළිවෙත් පිරීමට පටන් ගන්නවුන්ගෙන් සියයකින් කෙනකුට වත් ප්‍ර‍තිපත්ති පටන් ගත් හැටියට ම නො කඩවා දිර්ඝ කාලයක් ගෙන යා හැකි නො වේ. එයට හේතුව නම් තෘෂ්ණාව නැගි නැගී අවුත් පිළිවෙත් පුරන්නහුගේ සිත කලින් ඔහු විසින් හැර දැමූ කාමයන් වෙත නැවත නැවතත් ගෙන යාමය.

මුලින් පොහොයක් පාසා ම සිල් රකිමි යි ඉටා සිල් සමාදන් වන්නට පටන් ගත් තැනැත්තාගේ සිත්හි රසට කන්නට බොන්නට ඕනෑ ය, හොඳට හඳින්නට පළඳින්නට ඕනෑ ය, මුදල් සපයන්නට ඕනෑ ය, භාර්‍ය්‍යාවට අසවල් අසවල් දේ කරන්නට ඕනෑ ය, දරුවන්ට අසවල් අසවල් දේ කරන්නට ඕනෑ ය යනාදීන් බොහෝ තෘෂ්ණාවෝ පහළ වෙති. ඒ තෘෂ්ණාවන්ගේ හේතුවෙන් පිළිවෙත් පුරා ගෙන යන්නා වූ තැනැත්තාගේ සිත්හි තෘෂ්ණාව උපන් දේවල් කිරීමෙහි යෝග්‍යත්වය දක්වන්නා වූ ද පිළිවෙත් ලිහිල් කිරීමෙහි හෝ මඳ කලකට නැවැත්වීමෙහි අනුසස් දක්වන්නා වූ ද තෘෂ්ණා පාක්ෂික ධර්මයෝ පහළ වන්නාහ.

“කෝක කළ හැකි වන්නේත් නිරෝගීව ශක්තිමත්ව කලක් ජීවත්වන තැනැත්තා හට ය. මළ හොත් කිසිවක් කර ගන්නට ලැබෙන්නේ නැත. ලෙඩ වුවත් එසේ ම ය. එබැවින් දිවි පැවැත්වීමට ඕනෑ කරන උපකරණ ලබා ගනු පිණිස මුදල් සපයන්නට ඕනෑ ය. ගිහිගෙයි වාසය කරන්නකු වුවහොත් අඹු දරුවන් සැපයත් කරන්නටත් ඕනෑ ය. අඹු දරුවන්ට දුක් විඳින්නට හැරීම පාපයක් ය. ඒ නිසා අඹු දරුවන් ගේ වැඩත් ඕනෑ ය. අඹුදරුවන්ගේ වැඩත් නිවන් පිණිස පිළිවෙත් පිරීමත් එක වරම කරන කල්හි එකක්වත් හරියට කෙරෙන්නේ නැත. ඒ නිසා දරුවන්ගෙන් නිදහස් වෙලාව පින් කරන්නට පටන් ගන්නවාය” යන ආදිය තෘෂ්ණා හේතුවෙන් පහළ වන තෘෂ්ණා පාක්ෂික බණ වලින් සමහරෙකි. පොහොයක් පාසා ම සිල් රකිමි යි පටන් ගත් තැනැත්තා තෘෂ්ණාව නැග සිටින විට පොහෝ දිනය පැමිණි කල්හි ඒ තෘෂ්ණා පාක්ෂික බණ වලින් යුක්ති වලින් සිත සනසා ගෙන සිල් සමාදන් වීම හැර එය කල් තබා, අන් වැඩකට යන්නේ ය. ඔහු ඒ තෘෂ්ණාව නිසා සමහර විට පොහෝ දින බොහෝ ගණනක් මෙසේ හැර දමන්නේය. සමහර විට සම්පූර්ණයෙන් ම සිල් රැකීම හැර දමන්නේය. ඒ බණ පදවලින් ම සිත සනසා ගෙන සමහර විට ඔහු ප්‍රාණ වධාදී පාපයන් ද කරන්නේ ය. මේ තෘෂ්ණාව ගෘහස්ථයාගේ ප්‍ර‍තිපත්තියට බාධා කරන ආකාරය ය.

ගිහි ගෙයින් නික්ම බුදු සස්නෙහි පැවිදි වූ තැනැත්තාගේ සන්තානයෙහි ද යටපත් වී තිබෙන තෘෂ්ණාව ද කලක දී නැගී එන්නේ ය. නැගී එන්නා වූ ඒ තෘෂ්ණාව හේතු කොට පැවිද්දාගේ සිත්හි ගිහියාගේ සිත්හි මෙන් ම තෘෂ්ණා පාක්ෂික බණ, තෘෂ්ණා පාක්ෂික යුක්ති, පහළ කර වන්නේ ය. පැවිදිව මඳ කලක් හොඳින් මහණ දම් පුරාගෙන යන්නා වූ පැවිද්දා තුළ නැවත යටපත් ව තුබූ තෘෂ්ණාව හිස ඔසවන්නේ ය. ඒ තෘෂ්ණාව ඔහුගේ සිතට “වැඩි සිල් වැඩි ප්‍ර‍තිපත්ති ඕනෑ නැත. කාලයේ සැටියට මහණ කම් කළාම ඇතය” යන තෘෂ්ණා පාක්ෂික යුක්තිය වටහන්නේය. ඉන්පසු ඔහු එයින් සිත සනසා ගෙන ප්‍ර‍තිපත්තිය ලිහිල් කරන්නේය. පැවිද්දකු කළ යුතු උදේ සවස තුනුරුවන් වැඳීම් හැමදීම් ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම් අරුණට පළමුව නැගී සිටීම් ආදිය හැර දමන්නේ ය. රිසි සේ කා-බී තිරශ්චීන කථාවලින් දවාල ගෙවා රාත්‍රි එළිවන තුරු නිදන්නෙක් වන්නේ ය. මෙසේ ප්‍ර‍තිපත්තිය ලිහිල් කර ගෙන හැසිරෙන්නා වූ පැවිද්දා තුළ සමහර විට තව තවත් තෘෂ්ණාව නැග එන්නට වන්නේ ය. එසේ නැග ඒමෙන් ඔහු මේ කාලයේ හැටියට මුදල් නැති ව මහණකම කරන්නටත් බැරිය යි මුදල් සපයන්නටත් මුදල් පරිහරණය කරන්නටත් පටන් ගන්නේ ය. කල් යාමෙන් සමහර විට ලෙඩට ය යි කියමින් රාත්‍රියට ආහාර ගන්නටත් පටන් ගන්නේ ය. තවත් නොයෙක් සික පද බිඳ දමන්නටත් පටන් ගන්නේ ය. එපමණකිනුත් නො නැවතී සමහරු නැවත ගිහි බවට ද පැමිණෙන්නේ ය. මේ පැවිද්දන්ගේ ප්‍ර‍තිපත්තියට තෘෂ්ණාව බාධා කරන්නා වූ ආකාරය යි. මෙසේ දුකින් මිදෙනු පිණිස පිළිවෙත් පුරන්නට පටන් ගන්නා වූ තැනැත්තා ගේ ප්‍ර‍තිපත්තියට බාධා කරන හෙයින් ප්‍ර‍තිපත්ති සිඳ දමන බැවින් තෘෂ්ණාව පළිබෝධට්ඨයෙන් යුක්ත යයි කියනු ලැබේ.

ආයූහනට්ඨය යි කියන ලද දුක් රැස් කිරීම ය, නිදානට්ඨය යි කියන ලද නැවත නැවත දුක් ගෙනදීම ය, සංයෝගට්ඨය යි කියන ලද දුකෙහි තදින් බැඳීම ය, පළිබෝධට්ඨය යි කියන ලද දුකින් මිදීමේ ප්‍ර‍තිපත්තියට බාධා කිරීම ය යන ලක්ෂණ සතර යමක ඇත්නම් එය දුක් උපදවන සැබෑ හේතුවය. හෙවත් සමුදය සත්‍යය ය. මේ ලක්ෂණ සතර ඇත්තේ තෘෂ්ණාවෙහි ය. තෘෂ්ණාව හැර අනිකක මේ ලක්ෂණ සතර නැත්තේය. එබැවින් තෘෂ්ණාව ම සමුදය සත්‍යය යි සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය.

මෙතෙකින් දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍ය කතාව නිමියේ ය.

3. දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය

“කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛ නිරෝධං, අරියසච්චං? යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරෝධං අරියසච්චං”

මෙය තථාගතයන් වහන්සේ විසින් දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය වදාළ දේශනාවකි. එහි තේරුම “මහණෙනි! දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය කවරේද යත්? දුක් ඉපදීමේ හේතුව වූ ඒ තෘෂ්ණාවගේ ආර්‍ය්‍ය මාර්ග හේතු කොට වන්නා වූ යම් නිරවශේෂ නිරෝධයක් වේ ද ඒ තෘෂ්ණාව නසා ලීම් වශයෙන් කරන්නා වූ යම් දුරු කිරීමෙක් වේ ද, නැවත නූපදනා පරිද්දෙන් කරන්නා වූ යම් දුරු කිරීමෙක් වේ ද, ඒ තෘෂ්ණා බන්ධනයෙන් යම් මිදීමක් වේ ද, යම් නො ඇල්මක් වේ ද, මහණෙනි! මෙය දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේය” යි යනුයි.

මේ දේශනාවෙන් දුක් ඉපදීමේ හේතුව වූ තෘෂ්ණාව ගේ නිරවශේෂ නිරෝධය, මතු නූපදනා පරිද්දෙන් වන නිරෝධය, දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය බව දක්වන ලද්දේ ය. උපන් සංස්කාරයන්ගේ බිඳීමට හෙවත් අභාවයට පැමිණීමට ද නිරෝධය යි කියති. තෘෂ්ණාව ද සංස්කාරයන්ට අයත් දෙය්ක වූ බැවින් එයට ද ඒ නිරෝධය ඇත. මේ නිරෝධ සත්‍ය කථාවෙහි ගනු ලබන නිරෝධය එය නො ව, මතු උපදිය හැකි තෘෂ්ණාවන් නූපදීම වූ නිරෝධයයි. එයට නිරවශේෂ නිරෝධය යි ද, අනුත්පාද නිරෝධය යි ද, නිරවශේෂ ප්‍ර‍හාණය යි ද කියනු ලැබේ. යමකුට වස්තුව ගැනත්, අඹු දරුවන් ගැනත්, තමන්ගේ ශරීරය හා ජීවිතය ගැනත්, ඉන්ද්‍රියන්ට විෂය වන රූප ශබ්දාදිය ගැනත් තෘෂ්ණාවක් කවර ආකාරයකින් වත් නූපදී නම්, දෙවඟනක් බඳු තරුණියක හා එක යහනක කලක් විසුවත් කාමරාගය නූපදී නම් ඔහුට ඇති ඒ තෘෂ්ණාව නූපදනා ස්වභාවය, තෘෂ්ණාවගේ නිරවශේෂ නිරෝධය යි දත යුතු.

තෘෂ්ණාව නිරුද්ධ වුවද පඤ්චස්කන්ධය පවතී නම් සත්ත්වයා දුකින් නො මිදුණේ ය. පඤ්චස්කන්ධය නිරුද්ධ වුවහොත් එහි සුළු කොටසක් වූ තෘෂ්ණාව පැවතියේ ද එය බලවත් දුකක් නො වේ. දුකින් පීඩිත තැනැත්තාහට වුවමනා ප්‍ර‍ධාන දෙය පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛයාගේ නිරෝධය ය. දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය වදාරන්නා වූ තථාගතයන් වහන්සේ තෘෂ්ණාවෙන් අන්‍ය වූ ක්ලේශයන් හා ස්කන්ධයන් නො ගෙන තෘෂ්ණාව වූ එක් ධර්මයක් පමණක් ගෙන, එහි නිරෝධයාගේ වශයෙන් දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය වදාරන ලදුයේ දුක් නැති කර ගත හැකි ආකාරයත් සමග ම දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය දක්වනු සඳහා ය. තෘෂ්ණා සංඛ්‍යාත දුඃඛෝත්පාදක හේතුව තිබියදී ඵලය වූ දුඃඛය නැති කළ නො හැකිය. මහත් ආයාශයෙන් යම්කිසි දුක් කොටසක් නැති කෙළේ ද හේතුව පවත්නා බැවින් නැවත දුක් එන්නේ ම ය. තෘෂ්ණාව වූ දුඃඛ හේතුව නැති කළ හොත් එයින් ම දුක් කෙළවර වන්නේ ය. එබැවින් දුක නැති කිරීමේ නො වරදින ක්‍ර‍මය තෘෂ්ණාව වූ දුඃඛ හේතුව නැති කිරීම ම ය. තෘෂ්ණා නිරෝධයාගේ වශයෙන් දුඃඛ නිරෝධය දැක් වූ කල්හි, දුක් නැති කර ගැනීමේ නො වරදින ක්‍ර‍මයත් සමග දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය දක්වන ලද්දේ වන්නේය.

තව ද මතු ඵල හට ගන්නා වූ ගසක් කපා විනාශ කළ කල්හි ඒ ගසෙහි මතු හට ගන්නට තිබෙන්නා වූ ගෙඩිවල විනාශය නො හට ගැනීම, අභාවප්‍රාප්තිය ගසේ විනාශය හා බැඳී සිදුවන්නාක් මෙන්, ගසේ විනාශයෙන් වෙන් නො කළ හැකිවාක් මෙන්, තෘෂ්ණා හේතුවෙන් වන සකල දුඃඛස්කන්ධයාගේ ම නිරෝධය තෘෂ්ණා නිරෝධය සමග ම සිදුවන්නේ ය. එය තෘෂ්ණා නිරෝධය හා බැඳී පවත්නේ ය. තෘෂ්ණා නිරෝධයෙන් වෙන් නො කළ හැක්කේ ය. එබැවින් එකක් වූ තෘෂ්ණාවගේ පමණක් නො ව සකල දුඃඛයාගේ නිරෝධය නිරෝධාර්‍ය්‍ය සත්‍යය බව දත යුතු ය.

නිර්වාණය

බෞද්ධයන් විසින් නිර්වාණය යි කියා පතන්නා වූ ලැබීමට උත්සාහ කරන්නා වූ යමක් වේ නම් එද අනිකක් නො ව මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ම ය. දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණය වනාහි ඇතමුන්, සිතන හැටියට කිසි වටිනාකමක් නැති සැපයකුත් නො වන, නො පැතිය යුතු, බිය විය යුතු හිස් බවක් නො ව අති ප්‍ර‍ණීත සැපයකි. වටිනාකම පමණ කළ නොහෙන සැපයකි. පරණ වීමෙන් නරක් නො වන එපා නො වන සැපයකි. කවර කලෙකවත් නැති නොවන හැම කල්හි පවත්නා සැපයකි. දුකින් අමිශ්‍ර‍ ශුද්ධ සුඛ පිණ්ඩයකි. පඤ්චේන්ද්‍රියයන්ට හා මන්දබුද්ධිකයින්ගේ මනින්ද්‍රියට ද අවිෂය බැවින් පරම සූක්ෂ්ම ධර්මයකි. නිරුද්ධ වන දුඃඛයන්ගේ වශයෙන් සලකන කල අති විශාල ධර්මයකි. ලෝකෝත්තර ධර්මයකි. මහානුභාව සම්පන්න ධර්මයකි. පිහිටි තැනක් නැතිව ඇති ධර්මයකි. එක ද සත්ත්වයකුත් එහි නැත ද සත්ත්වයින්ට පරම පිහිටක් වූ ධර්මයකි.

නිවනෙහි ස්කන්ධයන්ට අයත් දේවලින් එකකුත් නැත. නැති බැවින් නම් එය හිස් දෙයකි. ඒ හිස් බව නිවනෙහි අගුණයක් නොව උතුම් ගුණයෙකි. යටත් පිරිසෙයින් එහි විඤ්ඤාණස්කන්ධයවත් ඇති නම් එයින් නිවන දුක් සහිත වන්නේය. විඤ්ඤාණයත් දුඃඛයක් ම වන හෙයිනි. නිවන ස්කන්ධයන්ගෙන් හිස් වුවත් සුඛයෙන් හිස් නො වේ. නිර්වාණ සුඛය තේරුම් ගැනීමට සැපවල ප්‍රභේදය තේරුම් ගත යුතු ය.

සැප දෙවර්ගය

කාම සුඛය විමුක්ති සුඛය යි ලෝකයෙහි සැප දෙවර්ගයකි. එයින් කාමනීය වූ රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍ය - ධර්ම සංඛ්‍යාත ආරම්මණයන් නිසා උපදනා සුඛය කාම සුඛ නම් වේ. තවත් ක්‍ර‍මයකින් කියත හොත් කෑම් බීම් ඇඳුම් පැළඳුම් රන් රිදී මුතු මැණික් මිල මුදල් ආදි කාමනීය වස්තූන් හා අඹුදරු ආදි ප්‍රිය පුද්ගලයන් නිසා සිත්හි හට ගන්නා වූ ආශ්වාදය කාම සුඛ නම් වේ.

පැමිණ තිබෙන්නා වූ හෝ මතු පැමිණෙන්නට තිබෙන්නා වූ හෝ විපතකින් දුකකින් බේරීම වූ නිදහස විමුක්ති සුඛ නමි.

මේ සැප දෙකින් කාම සුඛය විඳින සැපයකි. එබැවින් එයට “වේදයිත සුඛය” යි ද කියති. විමුක්ති සුඛය නො විඳින සැපයකි. එබැවින් එයට ‘අවේදයිත සුඛය’ යි ද කියති. මේ දෙක සැප බව කවුරුනුත් පිළිගන්නා නමුත් විමුක්ති සුඛය ගැන කීමෙහි දී සැපය යන වචනය පාවිච්චි නො කර ඒ අර්ථය ම කියවෙන අන්‍ය වචන පාවිච්චි කරති. එබැවින් සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිත සැපය යන වචනය ඇසෙත් ම විමුක්ති සුඛයට නො ගොස් වේදයිත සුඛයට ම යොමු වෙයි. තවත් සැපයක් ඇති බව ඔහුට සිහි නො වෙයි. නිවනෙහි වේදයිත සුඛය නැත. ශුද්ධ විමුක්ති සුඛය ම නිවනය. විමුක්තිය සැපයක් සේ වැටහී නැති බැවින් නිවන සැපයකැයි කී කල්හි ඔහුගේ සිත සැලෙයි. එය ඔහුට නො වැටහෙයි. සමහර විට නිවන් සැපය ගැන ඇසූ කල්හි එයත් වේදයිත සුඛය මැයි වරදවා හෝ සිතයි. නිවන් සැපය තේරුම් ගත හැකි වීමට විමුක්තිය සැපයක් බව හොඳින් අවබෝධ කර ගත යුතු ය.

හිසෙහි රදයක් පැවැත්ම දුකෙකි. ඒ දුකින් පෙළෙන තැනැත්තා බෙහෙත් ගෙන එය නැති කර ගත් කල්හි හිසරදය සුව වුනාය කියා හෝ සනීප වුනාය කියා හෝ හොඳ වුනාය කියා හෝ කියයි. සුවය, සනීපය, හොඳය යන වචන තුනෙන් කියවෙන්නේ අර්ථ තුනක් නො ව එක් අර්ථයකි. ඒ අර්ථය නම් අනිකක් නො ව සැපයයි. ඒ සැපය නම් හිසරදය පිළිබඳ විමුක්තියයි. එහෙත් එය ප්‍ර‍කාශ කිරීමට සැපය යන වචනයෙන් අන්‍ය වූ වචනයක් පාවිච්චි කරන බැවින් විමුක්තිය සැපයක් බව පිළිගනිමින් ම සැපයක් සේ නො සිතයි. මෙය වචන වල වෙනස්කම් නිසා ඇති වන අවුලකි. මේ කරුණ නුවණින් සලකා තේරුම් කරගත් කල්හි විමුක්තිය සැපයක් බව වැටහෙනු ඇත.

සැප දෙකින් කාම සැපය, හොඳ යයි පිළිගන්නා දෙයක් අරමුණු කොට පහළවන සිත සමග ඇති වී විදුලියක් සේ වහා නැති වී යන ක්ෂණික දෙයකි. ඇසිපිය වරක් හෙලන්නට ගතවන කාලය පමණවත් එය නො නැවතී, සැණෙකින් නැතිවන දෙයක් නිසා එහි එතරම් වටිනා කමක් නැත. ස්කන්ධයන්ට අයත් බැවින් එය ඖදාරික සුඛයක් ද වේ. විමුක්තිය සැණෙකින් අතුරුදහන් වන දෙයක් නොව කල් පවත්නා දෙයකි. හිස රුජා සුවය වූ විමුක්ති සුවය නැවත හිසරදයක් හට ගන්නා තුරු ම පවතී. නිර්වාණ සුඛ සංඛ්‍යාත විමුක්ති සුඛය වනාහි කවර කලෙකවත් නො නැසෙන්නේය. කල් පැවතීම ආදි නොයෙක් කරුණු නිසා විමුක්ති සුඛය කාම සුඛයට වඩා බොහෝ වටිනා සුවයකි. නැවත නැවත ලැබෙන කල එපා වන ස්වභාවයක් කාම සුඛයන්හි ඇතත් විමුක්ති සුඛයෙහි ඒ ස්වභාවය නැත. විමුක්ති සුඛය එපා වීම නම් දුක් ඕනෑ වීමය. දුක් ඕනෑ කරන කෙනෙක් නැති බැවින් විමුක්ති සුඛයේ එපා වීමක් නැත.

පෙර දඹදිව සාකේත නුවර සිටු බිරිඳකට හිස රුජාවක් සැදී සුව කරගත නො හැකිව සත්වසක් ගත විය. සත් වසකින් පසු ‘ජීවක’ නමැති වෛද්‍යාචාර්යවරයා එය සුව කළේය. දුකින් මිදුණා වූ සිටු බිරිඳ සතුටු වී තුටු පඬුරු වශයෙන් ජීවක තුමාට සාර දහසක් මිල දිණ. ඇගේ පුත්‍රයා ද ඔහුගේ භාර්යාව ද එසේ ම සාර දහස බැගින් තෑගි කළහ. මහ සිටාණෝ ද සතුටුව කහවනු සාර දහසක් හා දාසියක් ද, දාසයෙක් ද, අශ්ව රථයක් ද තෑගි කළහ. වෙද තුමා නිසා සිටු බිරිඳ ලත් රෝග විමුක්තිය නො වටනා දෙයක් නම්, හිස් දෙයක් නම්, ඔවුහු එපමණ ධනයක් නො දෙන්නාහුය. සොළොස් දහසක් කහවනු වෙදතුමාට දුන්නේ ඔවුන් ලත් විමුක්තිය ඔවුනට එපමණ වටිනා බැවිනි. මෙයින් හිත රුජාවකින් මිදීම ම සොළොස් දහසක් වටිනා බව කිය යුතු ය.

රජගහ නුවර විසූ සිටුවරයකුට ද නපුරු හිසරදයක් පැවතිණි. බොහෝ වෙදුන්ගෙන් ප්‍ර‍තිකාර ලබා සුවය්ක නො ලැබ අන්තිමේ දී ජීවක තුමා කැඳවීය. එතුමා රෝගය පරීක්ෂා කර බලා “සිටාණෙනි, රෝගය සුව කළහොත් කුමක් දෙන්නාහුදැ”යි ඇසීය. “වෙද තුමාණෙනි! මේ රෝගය සුවකර දුනහොත් මා සතු සියලු ම ධනයත් දී මම ද ඔබ තුමාගේ දාසයෙක් වන්නෙමැයි” සිටාණෝ කීහ. ඒ සිටාණන් මෙසේ කීයේ එතුමාට ඒ රෝග සුවය මුළු සිටු සම්පතට ද වඩා වටිනා බැවිනි. මේ ලෝකයෙහි ඇති දුක්වන සැටියට කොතරම් බලවත් හිසරදයක් වුවත් එතරම් ම ලොකු දුකකැ යි කිය නො හැකිය. හිසරදයකට වඩා අතිශයින් මහත් වූ ද දරුණු වූ ද දුක් ඉතා බොහෝ ය. හිසරදයක සුවය වූ අල්ප විමුක්ති සුඛයක් පවා මෙසේ සිටුසම්පතකටත් වඩා අගනා කල එයට වඩා මහත් වූ දුකකින් මිදීමේ සුවය කොතෙක් නො වටනේද? කාමසුඛයන් අතර මෙපමණ විශාල වටිනාකම ඇති සැප නැත්තේ ය. ඇතමෙකු සමහර කාම සුඛයන් වෙනුවෙන් මහා පරිත්‍යාගයන් කරතත් එසේ කරනුයේ ඒවායේ එතරම් වටිනාකමක් ඇති නිසා නොව මුළාව නිසා ය.

නිර්වාණ සුඛයෙහි උසස් බව

නිවනෙහි කාම සුඛය සම්පූර්ණයෙන් ම නැත. කිසි ම කාම වස්තුවකුදු එහි නැත. නිර්වාණය ම විමුක්ති සුඛය ය. එබැවින් එය කිසියම් ආකාරයකින් ප්‍ර‍මාණ කළ හැකි ද්‍ර‍ව්‍යයක් ද නො වේ. එය සත්ත්වයන්ට ආධාරස්ථානයක් වශයෙන් කථා කරනුයේ ව්‍යවහාර පහසුව පිණිස ය. නිර්වාණ සංඛ්‍යාත විමුක්ති සුඛයාගේ වටිනාකම කෙලෙසකින්වත් ප්‍ර‍මාණ කළ නො හේ. දින ගණනකින් ඒකාන්තයෙන් මරණයට පමුණුවන දරුණු රෝගයක් යම් කිසිවකුට වැළඳුන හොත් ඒ රෝගය සුව කිරීමට සමර්ථ වෛද්‍යවරයා එක් කෙනෙක් ම නම්, ජීවිතාශාව ඇති රෝගියා තමාගේ සකල සම්පත්තිය ම වුව ද ඒ වෙදැදුරාට දී රෝගය සුව කරවා ගෙන මරණයෙන් විමුක්තිය ලබා ගන්නේය. ඒ රෝගියා සිටුවරයෙක් නම්, සියලු සිටු සම්පත ම නො දෙත හොත් රෝගයට පිළියම් නො කළ හැකි ය යි වෛද්‍යවරයා කියා නම්, ඔහු මුළු සිටු සම්පත ම දී මරණයෙන් විමුක්තිය ලබා ගන්නේ ය. රෝගියා රජකු වී නම් රාජ්‍යය වුව ද දී මරණයකින් ම මිදීම ලබා ගන්නේ ය. මෙසේ බලන කල්හි එක මරණයකින් මිදීම වූ විමුක්ති සුඛය ම සිටු සම්පතක් පමණ ද රජ සම්පත් පමණ ද වටිනා බව කිව යුතුය. නිවනට නො පැමිණ විසුව හොත් අනාගතයෙහි එක් සත්ත්වයකුට ම ඒ ඒ ජාති වලදී පැමිණෙන මරණ සියයක් දහසක් ලක්ෂයක් කෝටියක් නො ව අනන්ත ය. එක මරණයකින් නිදහස් වීම ම රාජ්‍යයක් තරම් වුව ද වටිනා කල්හි අනන්තාපරිමාණ මරණයන්ගේ විමුක්තිය වූ නිවන් සුඛය කොතෙක් නො වටී ද? එහි වටිනාකම කවරෙකුට කෙලෙසින් නියම කළ හැකි වේ ද? නො හැකි ම ය. එක මරණයකින් මිදීමේ වටිනාකම ශතයක් පමණ වේ යයි සලකා ගණන් බැලුයේ ද නිවන් සුවයේ වටිනාකම ප්‍ර‍මාණ කළ නො හේ. නිවනට පැමිණීමෙන් ලැබෙනුයේ මරණ දුඃඛයෙන් මිදීම පමණක් නො වේ. ඇති තාක් සියලු ම දුක් වලින් නිදහස් වීම නිවනය. මරණ දුකින් නිදහස් වීමේ වටිනාකම ම පිරිසිඳිය හැකිද? නොහැකි ම ය.

නිර්වාණයාගේ විශාලත්වය

දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණ ධාතුව සූක්ෂම ධර්මයක් වුව ද අති විශාල දෙයකැයි ද කිය යුතුය. එහි විශාලත්වය දැක්වීමට උපමාවකුදු සුලභ නො වේ. ඒ විශාලත්වය නිරුද්ධ වන දුඃඛස්කන්ධයට අනුව දැක්විය යුතුය. අනාගත කාලයාගේ කොනක් නැත්තේ ය. නිවනට නො පැමිණියහොත් සත්ත්වයා ද ඒ කාලය මුළුල්ලෙහි ම නැවත නැවතත් කුඩා මහත් නොයෙක් ජාතිවල උපදනේ ය. එහි අවසානයක් නැත්තේ ය.

එබැවින් සසර සැරිසරන එක් සත්ත්වයකුට අනාගත කාලයේ දී ලබන්නට වන ජාති දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ජරා දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ව්‍යාධි දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. මරණ දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ශෝක දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. පරිදේව දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. දුඃඛ දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. දෞර්මනස්‍ය දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. උපායාස දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ප්‍රිය විප්‍රයෝග දුක්ඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. කැමති දෑ නො ලැබීමේ දුක්ඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. නරකයෙහි ඉපිද ලබන්නට වන දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. තිරිසන්ව ඉපිද ලබන්නට වන දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. ප්‍රේතව ඉපිද ලබන්නට වන දුඃඛයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත.

සසර සැරිසරන සත්ත්වයාට හිමි වන මේ අනාගත දුඃඛස්කන්ධයාගේ මහත්වය යම් පමණ ද නිර්වාණයාගේ විශාලත්වය ද එපමණ ම වන්නේ ය. ඒ දුඃඛස්කන්ධයාගේ කටුක බව යම් පමණ වේ නම් නිර්වාණයාගේ සුඛත්වය ද එපමණ ම වන්නේ ය. ඒ දුඃඛස්කන්ධයාගේ රෞද්‍ර‍ත්වය යම් පමණ නම් නිර්වාණයාගේ සෞම්‍යත්වය ද එපමණ ම වන්නේ ය. ඒ දුඃඛස්කන්ධයාගේ භයානකත්වය යම් පමණ වේ නම් නිර්වාණයාගේ රමණීයත්වය ද එපමණ ම වන්නේ ය.

පටන් ගැනීමක් නැත්තා වූ මේ සංසාරයෙහි එක් එක් පුද්ගලයකු විසින් අතීතයේ දී මිනිස් ලොව තබා දෙව් ලොව ඇත්තා වූ ද සියලුම සැප නොයෙක් වාර වලදී ලබා තිබේ. එහෙත් ඔවුනට ඒවායින් අද ඇති කිසි ම වැදගත් කමක් නැත. අද ඒවා රෑ දුටු සිහින පමණවත් අගය නැත. මතු ලෞකික සැප කොතෙක් ලදුයේ වී නමුත් ඒවාට වන්නේ ද අතීතයෙහි ලැබූ සැප වලට වූ දෙය ම ය. එබැවින් ලෞකික සැපවල කිසි ම හරයක් නැත. නිවන් සුවය වනාහි වරක් ලදහොත් මතු කිසි කලෙක නො නැසෙන්නා වූ ස්ථිර සැපයෙකි. එය ම සැප අතුරෙන් සාරවත් සැපය වන්නේ ය.

අති මධුර වූ අත්‍යුත්තම වූ මහාර්ඝ වූ මේ නිවන් සුවය ඇතමුන්ට කිසි ම ප්‍රයෝජනයක් නැති හිස් බවක් සැටියට සතයක් වත් නො වටිනා දෙයක් සැටියට බිය විය යුතු දෙයක් සැටියට වැටහෙනුයේ, කාම සුඛය ම වටිනා දෙයක් හැටියට වැටහෙනුයේ දුක නො හැඳිනීම නිසා ය. යමකට දුඃඛාර්‍ය්‍ය සත්‍යය වැටහුන හොත් ඔහුට මේ විමුක්ති සුඛයේ මධුරත්වය වැටහෙනු ඇත.

නිවනට පැමිණෙන ආකාරය

එක් එක් පුද්ගලයකු හට මේ දුඃඛස්කන්ධය නිරුද්ධ වනුයේ, නිරෝධය වූ නිවනට පැමිණිය හැකි වනුයේ එක් වරක දී නො ව පස්වරක දී ය. නිවන් සොයා ක්‍රියා කරන්නා වූ යෝගාවචරයා සෝවාන් වන කල්හි ඔහුට මතු සතර උපායෙහි උපදින්නට තිබෙන ස්කන්ධයන් හා ජාති සතකින් මතු සුගතියෙහි ද, උපදින්නට තිබෙන ස්කන්ධයෝ ද නිරුද්ධ වෙති. ඉන් පසු ඔහු අපායෙහි නූපදනේය. සුගතියෙහි ද සත් වරකින් මතු නූපදනේ ය. සෝවාන් වීමෙහි දී නිරුද්ධ වන දුඃඛයාගේ විශාලත්වය හා ඔහුට ඉතිරි වන දුඃඛයාගේ අල්පත්වයත් යට දක්වා ඇත. සෝවාන් පුද්ගලයාට වන්නා වූ මේ දුඃඛ නිරෝධය පළමු වරට නිවනට පැමිණීම ය.

සෝවාන් ඵලයට පැමිණ සිටින ආර්‍ය්‍ය ශ්‍රාවකයා සකෘදාගාමි වන කල්හි ඔහුට ඉතිරිව තුබූ ජාති සතකට අයත් ස්කන්ධයන්ගෙන් ජාති සයකට අයත් ස්කන්ධයෝ නිරුද්ධ වන්නාහ. ඉන් පසු ඔහු සසර උපදිතත් උපදින්නේ එක් වරෙකි. සකෘදාගාමි පුද්ගලයාගේ මේ ජාති සයකට අයත් දුඃඛයෙන් මිදීම දෙවෙනි වර නිවන් ලැබීම වන්නේ ය.

සකෘදාගාමි පුද්ගලයා අනාගාමි වන කල්හි ඔහුට කාම භවයෙහි එක් වරක් ලබන්නට තුබූ ස්කන්ධ දුඃඛය ද නිරුද්ධ වන්නේ ය. ඉන්පසු ඔහු කාම භවයෙහි නූපදනේ ය. අනාගාමි පුද්ගලයා ලබන මේ දුඃඛ නිරෝධය තුන්වෙනි වර නිවන් ලැබීම වන්නේ ය.

අනාගාමි පුද්ගලයා රහත් වන කල්හි රූපාරූප භවයන්හි උපදින්නට තුබූ ස්කන්ධයෝ ද නිරුද්ධ වෙති. ඉන්පසු ඒ රහතන් වහන්සේ කිසි කලෙක කොතැනක වත් නූපදනාහ. රහතන් වහන්සේ ගේ ඒ දුඃඛ නිරෝධය සතරවැනි වරට නිවනට පැමිණීම ය.

සතර වැනි වරටත් නිවනට පැමිණීමෙන් පසු රහතන් වහන්සේට ශේෂව ඇත්තේ අතීත හේතුවෙන් හටගන්නා වූ වර්තමාන ස්කන්ධ දුඃඛය පමණකි. පිරිනිවීමෙන් එය කෙළවර වන්නේ ය. එය පස්වෙනි වරට නිවනට පැමිණීම ය.

නිර්වාණයාගේ ප්‍රභේද

සෝවාන් වීමෙහි පටන් පිරිනිවීම දක්වා ස්ථාන පසක දී ආර්‍ය්‍ය ශ්‍රාවකයා ලබන නිවන නිරෝධ ස්වභාවයෙන් ද දුඃඛ ස්වභාවයෙන් ද එකක් ම වන්නේ ය. ඒකාන්ත වශයෙන් නිවන එකක් ම වූයේ නමුත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් පුද්ගලයන් සර්වාකාරයෙන් දුකින් මිදී නැති බැවින් පිරිනිවීම තෙක් ස්කන්ධ පවත්නා බැවින් ඔවුන්ගේ නිවනට ඉතිරිව තිබෙන ස්කන්ධයන් නිමිත්ත කොට ‘සෝපාදීශේෂ නිර්වාණය’ යි ද පරිනිර්වාණයෙන් පසු ලබන නිවනට ඉතිරි ස්කන්ධ කිසිවක් නැති බව නිමිත්ත කොට ‘අනුපාදිශේෂ නිර්වාණය’ යි ද කියනු ලැබේ.

“ද්වෙ ඉමා චක්ඛුමා පකාසිතා

නිබ්බාන ධාතු අනිස්සිතෙන තාදිනා

එකාහි ධාතු ඉධ දිට්ඨධම්මිකා

සඋපාදිසෙසා භව නෙත්ති සංඛයා

අනුපාදිසෙසා පන සම්පරායිකා

යම්හී නිරුජ්ඣන්ති භවානි සබ්බසො”

“පසැස් ඇත්තා වූ තෘෂ්ණා දෘෂ්ටීන් කරණකොට ස්කන්ධයන් ඇසුරු නො කරන්නා වූ තාදී ගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙකක් වූ මේ නිර්වාණ ධාතූහු ප්‍ර‍කාශිත ය. සත්ත්වයා භවයෙන් භවයට ගෙන යන්නා වූ තෘෂ්ණාවන්ගේ ක්ෂයවීම වූ ‘සඋපාදීශේෂ’ නම් වූ එක් නිර්වාණ ධාතුවක් මේ ප්‍ර‍ත්‍යක්ෂ ආත්ම භාවයෙහි ම වූවාය. යම් නිර්වාණ ධාතුවෙක්හි සර්වාකාරයෙන් භවයෝ නිරුද්ධ වෙත් ද? ‘අනුපාදීශේෂ’ නම් වූ ඒ නිර්වාණ ධාතුව ස්කන්ධ භේදයෙන් හෙවත් මරණයෙන් පසුව වූවාය” යනු මෙහි තේරුමයි. නිර්වාණයාගේ සෝපාදිශේෂ අනුපාදිශේෂ භේදය පිළිබඳව මතභේද ඇත ද ග්‍ර‍න්ථය දික්වන බැවින් මෙහි නො දක්වනු ලැබේ.

නිවන් සුවය හා පුද්ගලයා

පිරිනිවන් පානා රහතන් වහන්සේලා මතු නූපදනා බැවින් නිවනට පැමිණීමෙන් සත්ත්වයා නැති වන්නේය. නිවන කොතරම් වටිනා දෙයක්ය කියතත් එය ලබා ගත් තැනැත්තා නැති බැවින් නිවන පලක් නැති, බිය විය යුතු දෙයකැයි සමහරු සිතනුයේ සත්ත්ව තත්ත්වය නො දැනීමෙනි. නිවනෙහි නිවන් සුවය විඳිමින් සිටින සත්ත්වයකු නැති බව නම් සත්‍යයකි. සත්ත්වයකු නැත්තේ නිවනෙහි පමණක් නො වේ. නිවනෙන් පිටත ද පරමාර්ථ සත්‍ය වශයෙන් ස්කන්ධ ම මිස කොතැනකවත් සත්ත්වයෙක් නැත. ස්කන්ධ පංචකය නම් පරමාර්ථ වශයෙන් ඇත්තේ ය. එහි රූපය ද සත්ත්වයා නො වේ. වේදනාව ද සත්ත්වයා නො වේ. සංඥාව ද සත්ත්වයා නො වේ. සංස්කාරයෝ ද සත්ත්වයා නො වේ. විඤ්ඤාණය ද සත්ත්වයා නො වේ. ස්කන්ධ පංචකය හැර සත්ත්වයෙක් ද නැත. එ බැවින් ව්‍යවහාර මාත්‍ර‍ය හැර සත්ත්වයාය කියා කිසිවක් නැති බව දත යුතු ය.

සූර්‍ය්‍යයාගේ ගමන නිමිත්ත කොට දවසය යන ව්‍යවහාරය පවතිනු මිස ඇත්ත වශයෙන් දවසය කියා කිසිවක් නැත. හිරු ද දවස නො වේ. හිරු එළිය ද දවස නො වේ. අඳුර ද දවස නො වේ. ඒවා හැර දවසය කියා ගත හැකි අන් දෙයක් ද නැත. හුදෙක් දවසය යනු ව්‍යවහාර මාත්‍ර‍යකි. දවසය කියා කිසිවක් නැතත් ව්‍යවහාරය පුරුදු වීමෙන් සෑම දෙනාට ම දවසය කියා දෙයක් ඇති සේ වැටහී තිබේ. සත්ත්වයා යනු ද එසේ ම ඇති සේ වැටහී තිබෙන නැති දෙයකි. ඒ පරිකල්පිත සත්ත්වයා හෙවත් පුද්ගලයා ඇති සැටියට ගෙන ලෝක ව්‍යවහාරයාගේ වශයෙන් කියත හොත් ස්කන්ධ පංචකයාගේ හිමියා වූ ඒ සත්ත්වයා ම නිර්වාණ සුඛයාගේ හිමියා බව ද ඒ සුවය ලබාගෙන සිටින තැනැත්තා බව ද කිය යුතු ය. ස්කන්ධ දුඃඛය යමකුගේ නම්, දුඃඛ නිරෝධ සංඛ්‍යාත විමුක්ති සුඛයත් ඔහුගේ ම ය. ඒ බැවින් නිවනෙහි සත්ත්වයකු නැතය කියා නො බිය විය යුතු ය.

නිරෝධ සත්‍යයාගේ ස්වභාව සතර

“නිරෝධස්ස නිස්සරණට්ඨො විවේකට්ඨො අසංඛතට්ඨො අමතට්ඨො” යනුවෙන් පටිසම්භිදා මග්ග පාළියෙහි දක්වන ලද සතරක් වූ නිරෝධ ස්වභාවයන්ගේ, නිරෝධ ලක්ෂණයන්ගේ වශයෙන් ද මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය දත යුතුය. නිස්සරණට්ඨය, විවේකට්ඨය, අසංඛතට්ඨය, අමතට්ඨය යන මොවුහු නිරෝධාර්ය සත්‍යයාගේ චතුර්විධ ස්වභාවයෝ ය.

1. නිස්සරණට්ඨය

එහි “නිස්සරණට්ඨය” යනු ක්ලේශයන් කෙරෙන් හා දුඃඛයන් කෙරෙන් මිදුන බව ය. ක්ලේශයන්ගේ ස්කන්ධයන්ගේ නිරෝධය වූ නිර්වාණය නො ලැබුවා වූ නිර්වාණයට නො පැමිණියා වූ සත්ත්වයෝ කොහි සිටියාහුද? කිනම් තත්ත්වයකට පැමිණ සිටියාහුද? ඔවුහු රාගාදි ක්ලේශ සන්තාපයන්ගෙන් ද නො මිදුනෝ ය. පඤ්චස්කන්ධය පරිහරණය කිරීමේ දුඃඛයෙන් ද නො මිදුනෝ ය. ජාති - ජරා - ව්‍යාධි - මරණ - ශෝක - පරිදේවාදියෙන් ද නො මිදුනෝ ය. අපාය දුඃඛයෙන් ද නො මිදුනෝ ය. නිවන වනාහි ඒ ක්ලේශයන්ගේ හා දුඃඛයන්ගේ නිරෝධය වූ බැවින් නිවනට පැමිණියා වූ සත්ත්වයෝ ඒ ක්ලේශයන් කෙරෙන් හා දුඃඛයන් කෙරෙන් මිදුනාහු වෙති. ක්ලේශයන්ගේ හා දුඃඛයන්ගේ නිරෝධය වූ නිර්වාණය සර්වාකාරයෙන් ක්ලේශයන් ගෙන් මිදී පවත්නා ධර්මයකි. නිර්වාණයාගේ ඒ ක්ලේශයන්ගෙන් හා දුඃඛයන්ගෙන් මිදී පවත්නා බව නිරෝධාර්‍ය්‍ය සත්‍යයාගේ නිස්සරණට්ඨය යි.

2. විවේකට්ඨය

ක්ලේශයන්ගෙන් හා දුඃඛයන්ගෙන් සිස් බව විවේකට්ඨ නමි. නිවනට නො පැමිණියා වූ පුද්ගලයා සසර කවර භවයකට පැමිණ සිටියත් කිනම් තත්ත්වයකට පැමිණ සිටියත් ක්ලේශයන්ගෙන් හා දුඃඛයන්ගෙන් නො මිදියකු බැවින් ඔහු කෙලෙස් බරින් බරව වාසය කරන්නෙකි. දුක් බරින් බරව වාසය කරන්නෙකි. ඔහුට ක්ලේශ සන්තාපයන්ගෙන් හිස් බවෙක් හෙවත් විවේකයෙක් නැත. දුඃඛයන්ගෙන් හිස් බවෙක් විවේකයෙක් ද නැත. නිර්වාණය වනාහි ක්ලේශයන්ගේ හා දුඃඛයන්ගේ අනුත්පාද නිරෝධය වන බැවින් ශීතලයෙහි උෂ්ණය මෙන් ද, ආලෝකයෙහි අන්ධකාරය මෙන් ද, ඒ අනුත්පාද නිරෝධයෙහි කිසි ම ක්ලේශයක් හෝ දුඃඛයක් හෝ නැත. ඒ නිර්වාණ ධාතුව සර්වප්‍ර‍කාරයෙන් ක්ලේශයන්ගෙන් හා දුඃඛයන්ගෙන් හිස් ය. එබැවින් නිවනට පැමිණියා වූ තැනැත්තා හට එහි දුඃඛෝත්පත්තියට වස්තු වන කිසියම් ක්ලේශයකුදු නැත. කිසි ම දුකකුදු නැත. අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වූ ක්ලේශයෝ නැවත උපදිත්ය යි බියවීමට කරුණක් ද නැත. නිරුද්ධ වූ දුඃඛයෝ නැවත උපදිත්ය යි බිය වීමට කරුණක් ද නැත. මේ ක්ලේශයන්ගෙන් හා දුඃඛයන්ගෙන් සර්වාකාරයෙන් සිස් බව නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණයාගේ විවේකට්ඨය යි.

3. අසංඛතට්ඨය

පැවතීමට අනුබල දිය යුතු බවක් හෝ ආරක්ෂා කර ගත යුතු බවක් හෝ නැවත නැවත උපදවා ගත යුතු බවක් හෝ නැති බව අසංඛතට්ඨය නමි. කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් හටගන්නා වූ ස්කන්ධ වනාහි ගෙවි ගෙවී යන්නා වූ ද, දිර දිරා යන්නා වූ ද, සම්පූර්ණයෙන් ම බිඳී යන්නා වූ ද, ස්වභාවයෙන් යුක්ත වූවෝ ය. එබැවින් ස්කන්ධයන්ට ඇලුම් කරන්නා වූ ස්කන්ධ සහිතව වාසය කරන්නා වූ තැනැත්තා හට වැඩ බොහෝ වන්නේය. ශරීරයේ ගෙවී ගිය කොටස් නැවත ඇති කර ගැනීම සඳහා ද නිතර ම එයට ආහාර පානාදියෙන් අනුබල දිය යුතුය. වස්ත්‍ර‍වලින් වසා ගෙවල තබා ශරීරය ආරක්ෂා කළ යුතුය. එබැවින් සත්ත්වයා හට ස්කන්ධ පංචකය රක්ෂා කරනු සඳහා පවත්වනු සඳහා නැවතීමක් නැතිව ගණනක් නැතිව වැඩවල යෙදෙන්නට වන්නේ ය. ලෝකයෙහි වෙසෙන මනුෂ්‍යයන් විසින් නැවතීමක් නොමැතිව දිවා රාත්‍රී දෙක්හි කරන්නා වූ යම් වැඩ රාශියක් වේ නම් ඒ සියල්ල ම කරනුයේ මේ සඳහා ම ය. ආහාරපාන බේත් ආදියෙන් කොතෙක් අනුග්‍ර‍හ කළත් කෙසේ ආරක්ෂා කළත් අන්තිමේදී එය බිඳී යන්නේය. එබැවින් යහපත් වූ අලුත් ස්කන්ධයන් උපදවා ගනු සඳහා පවින් වැලකී සිටීමට ද, දානාදි නොයෙක් පින්කම් කරන්නට ද සත්ත්වයා හට සිදුවන්නේය. එසේ කොට අභිනවස්කන්ධ පංචකයන් උපදවාගත් කල්හි නැවතත් ඒ සඳහා වෙහෙසෙන්නට සිදුවන්නේ ය. ස්කන්ධයන්ට ඇලුම් කරන තාක් එහි අවසානයක් නැත්තේ ය.

නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණ ධාතුව වනාහි කර්මාදි යම්කිසි හේතුවකින් ප්‍ර‍ත්‍යයකින් හටගත් ධර්‍මයක් නො වේ. එය ඉපදීමක් නැතිව ම ඇත්තා වූ ධර්මයකි. නිර්වාණ ධාතුව ප්‍ර‍ත්‍යයෙන් නො හටගත් දෙයක් බැවින් ඉපදීමක් නැතිව ම ඇති දෙයක් බැවින් එහි ගෙවීමක් ද නැත. දිරීමක් ද නැත. බිඳීමක් ද නැත. ගෙවීම් දිරීම් බිඳීම් ඇත්තේ ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා වූ ධර්මයන් කෙරෙහි ය. නිර්වාණය වනාහි අන්ධකාරයට විරුද්ධ ස්වභාවය වූ ආලෝකය මෙන් ද, උෂ්ණයට විරුද්ධ ස්වභාවය වූ ශීතලය මෙන් ද, දුකට විරුද්ධ ස්වභාවය වූ සැපය මෙන් ද උපදින දිරන බිදෙන ස්වභාවයන්ට විරුද්ධ ස්වභාවය වූ නූපදින නො දිරන නො බිදෙන ස්වභාවයකි. එය නො දිරා නො බිඳී සෑම කල්හි එක සේ පවත්නේ ය. එ බැවින් නිවනට පැමිණියා වූ පුද්ගලයා හට ඒ නිවනෙහි ගෙවී ගිය කොටස් නැවත ඇති කර ගැනීම සඳහා කළ යුතු කිසිවක් ද නැත්තේය. ඒ නිවන ආරක්ෂා කර ගනු සඳහා පවත්වාගනු සඳහා කළ යුතු කිසිවක් ද නැත්තේ ය. පරණ නිවන නැතිවී යන නිසා අලුත් නිවනක් ඇති කර ගැනීම සඳහා කළ යුතු කිසිවක් ද නැත්තේ ය. නිවනෙහි මේ පවත්වා ගැනීම සඳහා අලුත් කර ගැනීම සඳහා කළ යුතු කිසිවක් නැති බව නිරෝධාර්‍ය්‍ය සත්‍යයා ගේ අසංඛතට්ඨය යි.

4. අමතට්ඨය

බිඳී අතුරුදහන් වීමක් නොමැතිව සෑම කල්හිම පවත්නා බව අමතට්ඨ නමි. සත්ත්වයන් විසින් ආත්ම යයි ගෙන සිටින්නා වූ කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් නිර්මිත වූ ස්කන්ධයෝ වනාහි ඉපදීමෙන් පසු ඇසි පිය වරක් හෙලන තරම් වූ කාලයකුදු නො පැවතී බිඳි බිඳී යන්නෝ ය. මඳ කලකින් ඒවායේ පරම්පරාව ද සිඳී යන්නේය. එබැවින් ප්‍ර‍ත්‍යයෙන් හටගත්තා වූ ස්කන්ධ ආත්මය කොට ගෙන ඒවාට ඇලුම් කරමින් සිටින්නා වූ සත්ත්වයා හට මරණ භයින් තොරව වාසය කිරීමට ඉඩ ඇති අවස්ථාවක් නො මැත්තේ ය. ඔහු සෑම කල්හි ම මරණ භය සහිත ව වාසය කරන්නේ ය. කර්මාදි යම් කිසි ප්‍ර‍ත්‍යයකින් නූපදවනු ලදුව, ඇත්තා වූ නිර්වාණ ධාතුවට පැමිණියා වූ ඒ සත්ත්වයා හට වනාහි ඒ නිවන කිසි කලෙක නො බිදෙන බැවින් මරණ බයක් නැත්තේ ය. මේ කිසි කලෙක නො බිදෙන බව සෑම කල්හි ම පවත්නා බව ස්ථිර බව නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණයාගේ අමතට්ඨය වන්නේ ය.

යම්කිසි ධර්මයක නිස්සරණට්ඨය යි කියන ලද දුකින් මිදුන ස්වභාවය ද, විවේකට්ඨය යි කියන ලද දුක් නැති දුක් හා අමිශ්‍ර‍ ස්වභාවය ද, අසංඛතට්ඨය යි කියන ලද නැවත නැවත අලුත් කළ යුතු බවක් නැති බව ද, අමතට්ඨය යි කියන ලද කිසි කලෙක නො බිදෙන නො නැසෙන ස්වභාවය ද ඇත්තේ නම් ඒ ධර්මය සත්‍ය වූ දුඃඛ නිරෝධය හෙවත් දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය වන්නේ ය. ඒ ස්වභාව සතරින් යුක්ත වූ එක ම ධර්මය නම් නිර්වාණ ධාතුව යි. එබැවින් සත්‍යවේදී වූ තථාගතයන් වහන්සේ නිර්වාණය දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය යි වදාළ සේක.

4. දුක්ඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය හෙවත් මාර්ග සත්‍යය

දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය යි කියන ලද තෘෂ්ණාව ආර්‍ය්‍ය මාර්ග ඥානයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය නො කරන ලදුව, සත්ත්ව සන්තානයෙහි යම්තාක් කල් පවතී ද එතෙක් ඒ තෘෂ්ණාව එක භවයකට අයත් වූ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය නිරුද්ධ වනු සමග ම අභිනව භවයක ස්කන්ධයන් උපදවන්නේ ය. දුඃඛ පරම්පරාව සිඳී යන්නට ඉඩ නො දෙන්නේ ය. එබැවින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදි දුඃඛයන්ගේ උත්පත්ති ස්ථානය වූ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය නො සිඳී පවත්නේ ය.

ලෝකයෙහි අඳුරට විරුද්ධ වූ එලියක් ද, උෂ්ණයට විරුද්ධ වූ ශීතලක් ද, රෝගයට විරුද්ධ වූ බෙහෙතක් ද, අධර්මයට විරුද්ධ වූ ධර්මයක් ද යනාදි වශයෙන් සෑම දෙයකට ම විරුද්ධ දෙයක් තිබෙන බැවින් මේ සංසාර දුඃඛ සංඛ්‍යාත මහා දුක්ඛයට ද විරුද්ධ දෙයක් ඇත්තේය. ඒ විරුද්ධ දෙය නම් දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය යි කියන ලද නිර්වාණය යි. ඒ නිර්වාණ ධාතුව සෑම කල්හි ම පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයෙන් වැසී තිබෙන බැවින් ඒ සුඛය සත්ත්වයන් හට ස්පර්ශ නො කළ හැකි ව පවත්නේ ය. පඤචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයන් නැවත නැවත ගෙන දෙන්නා වූ තෘෂ්ණාව නැති වුවහොත් ඒ හා සමග එයට අනුව ම දුක්ඛයෝ ද නිරුද්ධ වන්නාහ. නිර්වාණ සුඛය වසාගෙන සිටින්නා වූ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුක්ඛය නිරුද්ධ වනු සමග ම වැසී තිබුණා වූ නිර්වාණ ධාතුව සත්ත්වයා හට මතු වන්නේ ය. එය මතු වූ කල්හි සත්ත්වයා නිවනට පැමිණියේ ය යි ද කියනු ලැබේ.

සත්ත්වයා හට නිවනට පැමිණිය හැකි වීමට නම් නිවන ලැබිය හැකි වීමට නම් නිර්වාණ සුඛය වසා ගෙන සිටින්නා වූ පඤ්චස්කන්ධය නැති විය යුතු ය. පඤ්චස්කන්ධය නැතිවන්නට නම් නැවත නැවත පඤ්චස්කන්ධය නිපදවන්නා වූ තෘෂ්ණාව නැති කළ යුතු ය. තෘෂ්ණාව නැති කිරීමෙන් ම මිස අන් කිසි ම ක්‍ර‍මයකින් කිසි ම උත්සාහයකින් පඤ්චස්කන්ධය නමැති දුක්ඛය නැති කළ නොහේ. එබැවින් තෘෂ්ණාව නසන්නා වූ යම් ක්‍ර‍මයක් වේ නම් ඒ ක්‍ර‍මය, තෘෂ්ණාව මූලෝත්පාඨනයෙන් නසන්නා වූ යම් ධර්මයක් වේ නම් ඒ ධර්මය, දුඃඛ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට පැමිණීමේ මාර්ගය වන්නේ ය. ඒ ක්‍ර‍මයට ඒ මාර්ගයට “දුඃඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය” යි ද “මාර්ග සත්‍යය” යි ද කියනු ලැබේ.

දැන් දතයුත්තේ ඒ තෘෂ්ණාව නසන්නා වූ ක්‍ර‍මය තෘෂ්ණාව නැසීමට සමර්ථ වූ ධර්මය කුමක් ද කියා ය. තෘෂ්ණාව ද කිසි හේතුවක් නැතිව ඉබේ ම හටගන්නා දෙයක් නොවේ. නිවන සේ හටගැනීමක් නැතිව ඇති දෙයක් ද නො වේ. එය යම්කිසි හේතුවකින් හටගන්නා දෙයකි. උත්පාදක හේතුව වූ තෘෂ්ණාව නැති කිරීමෙන් මිස අන් අයුරකින් දුක්ඛය නැති කළ නො හැකිවාක් මෙන් ම යම් හේතුවකින් තෘෂ්ණාව උපදී නම් ඒ හේතුව සොයා ඒ හේතුව නැසීමෙන් මිස අන් කිසි ම ක්‍ර‍මයකින් තෘෂ්ණාව නැසිය නොහේ. එබැවින් තෘෂ්ණාව නසනු කැමති තැනැත්තා විසින් එහි උත්පත්ති හේතුව සොයා එය ම නැති කළ යුතු ය. එය නැති කිරීම සඳහා ම ක්‍රියා කළ යුතුය. එය නැති කර ගැනීම සඳහා ම ක්‍රියා කිරීමටත් තෘෂ්ණාවේ උත්පත්ති හේතුව සොයා ගත යුතු ය.

කොටින් කියහොත් තෘෂ්ණාවේ උත්පත්ති හේතුව, නො දැනීම හෙවත් මෝහය ය යි කිය යුතු ය. කිසි ම දෙවියකුගේ හෝ බ්‍ර‍හ්මයකුගේ හෝ අන් කිසිවකුගේ උත්සාහයකින් නොව ඒ ඒ ධර්මයාගේ උත්පත්තියට නිසි හේතූන් ගේ රැස්වීමෙන් ම හටගන්නා වූ හට ගැනීමෙන් පසු ද කිසි ම කෙනකුගේ කැමැත්තේ හැටියට මොහොතකුදු නො පවත්නා වූ ඇසි පිය වරක් හෙලීමට ගත වන කාලයෙන් පංගුවකුදු නො පැවතී උපන් හැටියේ ම විදුලියක් සේ බිඳී අතුරුදහන් වන්නා වූ සත්ත්ව පුද්ගල භාවයක් නැත්තා වූ ස්වභාව ධර්ම වූ පඤ්චස්කන්ධය නාම රූප ධර්ම සමූහයක් සැටියට නො පෙනීම හේතු කොට ස්පර්ශ වේදනාදි නාම රූප ධර්මයන් වෙන් කර ගත නො හැකි වීම හේතු කොට ඒ නාම රූප සමූහය නාම රූප ධර්ම සමූහයක් සැටියට නො වැටහීම හේතුකොට ගෙන ඒ නාම රූප ධර්ම සමූහය මම ය කියා ද මනුෂ්‍ය - දිව්‍යාදි අන්‍ය සත්ත්වයෝ ය කියා ද ගන්නා වූ වැරදි හැඟීම් පහළ වේ. ඒ වැරදි හැඟීමට නැතහොත් වරදවා ගැනීමට සත්කාය දෘෂ්ටිය යි ද කියනු ලැබේ.

තව ද විදුලියක් සේ දියෙහි ඇඳි ඉරක් සේ සැණෙකින් බිඳී යන්නා වූ ඒ නාම රූප ධර්මයන්ගේ සැණෙකින් බිඳී යන ස්වභාවය වූ අනිත්‍ය ලක්ෂණය නො පෙනීම හේතු කොට නාම රූප ධර්මයන් කලක් පවත්නා වූ හෝ සෑම කල්හි ම පවත්නා වූ හෝ දේවල් ය යන වැරදි හැඟීම ද, ජාති - ජරා - මරණාදි දුඃඛයන්ට වස්තු වන බැවින් ද, බිඳි බිඳී යාමෙන් ඇලුම් කරන්නා නිරතුරුව ම පෙළන බැවින් ද ඒකාන්තයෙන් දුක් රැසක් වූ නාම රූප ධර්ම සමූහය හෙවත් ස්කන්ධ පඤ්චකය ඒ බව නො දැනීම හේතු කොට හොඳ දෙයක් ය සැපයක් ය යන වැරදි හැඟීම ද ඇතිවේ.

පඤ්චස්කන්ධය සත්ත්ව පුද්ගල භාවයෙන් තොර වූ ධාතු කොටසක් හැටියට නොව මම ය කියා ද සත්ත්වයෝ ය පුද්ගලයෝ ය කියා ද ගන්නා වූ වැරදි හැඟීම ය, පඤ්චස්කන්ධය නිත්‍ය දෙයක් ය කියා හෝ කලක් පවත්නා දෙයක් ය කියා හෝ ගන්නා වැරදි හැඟීම ය, පඤ්චස්කන්ධය හොඳ දෙයක් ය සැපයක් ය, කියා ගන්නා වූ වැරදි හැඟීම ය යන මේ තුන නිසා මම ය යි ගන්නා ලද ස්වකීය ස්කන්ධ පඤ්චකය කෙරෙහි මහත් වූ තෘෂ්ණාවක් ඇති වන්නේ ය. මාගේ භාර්‍ය්‍යාවය මාගේ දරුවෝ ය මාගේ නෑයෝ ය මාගේ මිතුරෝ ය යනාදීන් අන්‍ය සත්‍යයන් ගැන ද තෘෂ්ණාව ඇති වේ. මාගේ ගෙය ය, මාගේ වත්ත ය, මාගේ කුඹුර ය, මාගේ මිල මුදල් ය යනාදි වශයෙන් ද මේ මේ දේ මට ඕනෑ ය යනාදි වශයෙන් ද තෘෂ්ණාව හටගන්නේ ය. එබැවින් පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් පවත්නා වූ කියන ලද වැරදි හැඟීම් තුන තෘෂ්ණාවේ උත්පත්ති හේතු බව දත යුතු ය.

යම්තාක් සත්ත්වයා තුළ කියන ලද වැරදි හැඟීම් තුන පවත්නේ ද එතෙක් ඔහු තුළ තෘෂ්ණාව ද නැවත නැවත ඇති වන්නේ ය. තෘෂ්ණාව නැති කිරීම සඳහා කළ යුත්තේ මේ වැරදි හැඟීම් තුන දුරු කිරීම ය. යම් කිසිවකු තුළ පඤ්චස්කන්ධය මම ය යන හැඟීම සම්පූර්ණයෙන් ම නැත්තේ නම් ඔහුට ස්වකීය ස්කන්ධ පඤ්චකය පස් ගොඩකට දරකඩකට කසළ ගොඩකට වෙනස්ව නො පෙනෙන්නේ ය. ස්කන්ධ පඤ්චකය පුද්ගලයකු වශයෙන් නොව පස් ගොඩකට දරකඩකට කසළ ගොඩකට නො වෙනස්ව පෙනෙන තැනැත්තා හට කෙසේ නම් ස්කන්ධ පඤ්චකය කෙරෙහි ඇල්මක් ඇති වේද? නො වේ ම ය. කිසි ම සංස්කාරයක් මම ය කියා නො ගන්නා වූ තැනැත්තාට මමත් නැති කල්හි මාගේ ය කියා ද මට ඕනෑ ය කියා ද ගන්නට දෙයක් ඇති වේද? නො වේ ම ය. කරුණු මෙසේ හෙයින් පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් පවත්නා වූ වැරදි හැඟීම් දුරුවීම සමග ම තෘෂ්ණාවත් දුරු වන බව දත යුතු ය.

ඒ වැරදි හැඟීම් තුන දුරුකර ගත හැකි වනුයේ පඤ්ච-ස්කන්ධයට අයත් වූ චිත්ත චෛතසික රූප ධර්මයන් හා ඒවායේ අනිත්‍ය-දුක්ඛ-අනාත්ම යන ලක්ෂණ තුන ද, තත්ත්වාකාරයෙන් දැකිය හැකි ඥානය ඇති කර ගැනීමෙනි. ඥානය ඇති කර ගැනීමෙන් ම මිස අන්කිසි ක්‍ර‍මයකින් ඒ වැරදි හැඟීම් තුන දුරු කළ නොහේ. ඒ වැරදි හැඟීම් තුන දුරුකිරීමෙන් මිස අන් කිසි ම ක්‍ර‍මයකින් තෘෂ්ණාව සහමුලින් නැසිය හැක්කේ ද නොවේ. දන් දීමෙන් තෘෂ්ණාව නැසිය හැකි ය යි සමහරුන් සිතතත් එසේ සිතනුයේ තෘෂ්ණාව නැති කර ගත හැකි ආකාරය තත්ත්වාකාරයෙන් නො දැනීමෙනි. දන් දීමෙන් ලෝභය දුරු නො වන්නේ ද නො වේ. දුරු වන්නේ ය. ඒ දුරු වන්නේ දෙන දෙය ගැන තිබුණු ලෝභය යි. දෙන වස්තූන් කෙරෙහි පැවති ලෝභය දුරු වුව ද තෘෂ්ණා මූලය එසේ ම තිබෙන බැවින් නැවත නැවත වෙනත් දේවල් ගැන තෘෂ්ණාව උපදනේ ම ය.

දන් දීමෙන් මඳකට ලෝභය දුරු වුවත් දානයාගේ විපාක වශයෙන් මතු සම්පත් ලැබෙන කල්හි, ගසක අත්තක් කපා දැමූ කල්හි එතැනින් පසුව අතු හත අටක් ලියලා එන්නාක් මෙන් දානයාගේ විපාක වශයෙන් ලැබෙන සම්පත් අරමුණු කොට පසුව ඔහු තුළ බොහෝ තෘෂ්ණා හටගන්නාහු ය. එබැවින් ලෞකික සම්පත් පතා දන් දෙන්නවුන්ට දීමෙන් තවත් තෘෂ්ණාව වැඩෙන බව දත යුතු ය. ලෞකික සම්පත් නොව නිවන් පතා දන් දෙන්නවුන්ට වනාහි එයින් ලෝභය තුනී වේ. නමුත් කොපමණ දන් දුන්නත් එයන් ලෝභය මතු නූපදනාකාරයෙන් නම් දුරු නො වේ. සසර වසන තෙක් සත්ත්වයාට ලෞකික සැප වුවමනා නිසා ද ඥානය වර්ධනය කර ගැනීමට සුගතියෙහි උපදින්නට වුවමනා නිසා ද දන් දීම කළ යුතුය. දන් දීම නිෂ්ඵල දෙයකැ යි වරදවා නො ගත යුතු ය. එහෙත් එයින් ම තෘෂ්ණාව නැසීමටත් නිවන් දැකීමටත් බලාපොරොත්තු වුවහොත් එය වැරදීමක් බව ද දත යුතු ය. ද්විවිධ වූ ඥානය

ඥානය ද, අනුමාන ඥානය, ප්‍ර‍ත්‍යක්ෂ ඥානය යි දෙ වැදෑරුම් වේ. දිය සැලෙනු දැක දියෙහි මසකු ඇති බව දැනීම වැනි දැනුම අනුමාන ඥාන නමි. දිය සෙලවූ සත්ත්වයා දියෙන් ගොඩ ගෙන බැලූ තැනැත්තාට ඒ සත්ත්වයා පිළිබඳව ඇති වන දැනීම වැනි කිසි ම සැකයක් ඉතිරි නො වන සේ දැන ගන්නා දැනීම ප්‍ර‍ත්‍යක්ෂ ඥාන නමි. මේ ඥාන දෙකින් අනුමාන ඥානය දුර්වල ඥානයකි. බලවත් ඥානය වනුයේ ප්‍ර‍ත්‍යක්ෂ ඥානය යි. එයට ප්‍ර‍තිවේධ ඥානය යි ද කියනු ලැබේ. පඤ්චස්කන්ධයට අයත් නාම රූප සමූහය හා ඒවායේ අනිත්‍යාදි ලක්ෂණ තුන ද දැනීමෙන්, වැරදි හැඟීම් තුන හා තෘෂ්ණාව ද දුරු වේ ය යි කියන ලද නමුත් ඒවා පිළිබඳ අනුමාන ඥානය ඇති වූ පමණින් ද, ඒ වැරදි හැඟීම් හා තෘෂ්ණාව දුරු නො වේ. ඒ වැරදි හැඟීම් හා තෘෂ්ණාව දුරු කිරීමට සමත් වනුයේ ප්‍ර‍ත්‍යක්ෂ ඥානය යි.

පඤ්චස්කන්ධයට අයත් නාම රූප ධර්මයන් හා ඔවුන්ගේ අනිත්‍යාදි ලක්ෂණ ගැන ද දැනීමක් ඒ ධර්ම පිළිබඳ බණ අසන්නා වූ ද, බණ පොත් කියවන්නා වූ ද, ගුරුන්ගෙන් උගෙන ගන්නා වූ ද, තැනැත්තන් හට ද ඇති වේ. එය අනුමාන වශයෙන් දැනීම ය. ඒ අනුමාන ඥානය ස්කන්ධ පඤ්චකය සම්බන්ධව පවත්නා වූ වැරදි හැඟීම් තුන තුනී කරන්නට මුත් දුරු කිරීමට සමර්ථ නොවේ.

බණ ඇසීම් ආදියෙන් ඒ ධර්මයන් දැනගත් තැනැත්තා විසින් යම්කිසි විවේක ස්ථානයකට එළඹ තමා දැන සිටින පරිද්දෙන් පඤ්චස්කන්ධය හා පඤ්චස්කන්ධයා ගේ අනිත්‍යාදි ලක්ෂණ ද නැවත නැවත නුවණින් විමසන්නට පටන් ගත යුතු ය. එසේ නැවත නැවත විමසීමට විදර්ශනා භාවනාව ය යි කියනු ලැබේ. (විදර්ශනා භාවනාව නියම වශයෙන් ම උගෙනීමට නම් සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තක පංක්තියේ දෙවන පොත වන “විදර්ශනා භාවනා ක්‍ර‍මය” බැලිය යුතු ය.) එසේ කරන කල්හි ඒ තැනැත්තාගේ ඒ ධර්මයන් විෂයෙහි පවත්නා ඥානය, දිනෙන් දිනට, මසින් මසට, වර්ෂයෙන් වර්ෂයට, ජාතියෙන් ජාතියට මඳින් මඳ දියුණු වන්නේ ය. ඥානය දියුණු වන්නට දියුණු වන්නට අනිත්‍යාදි ලක්ෂණ වඩ වඩා ප්‍ර‍කටව පෙනෙන්නට වන්නේ ය. කල් යෑමෙන් පඤ්චස්කන්ධය හා එහි අනිත්‍යාදි ලක්ෂණ තුන ද ඇසට පෙනෙන්නාක් මෙන් ඉතා හොඳින් ප්‍ර‍කට ව පෙනෙන්නට වන්නේ ය. එසේ ප්‍ර‍කටව පෙනෙන පරිදි ඇති වන්නා වූ ඥානය ප්‍ර‍ත්‍යක්ෂ ඥානය යි. ඒ ප්‍ර‍ත්‍යක්ෂ ඥානය පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් පවත්නා වූ වැරදි හැඟීම් තුන දුරලීමට සමර්ථ වන්නේ ය.

විදර්ශනා භාවනාව කරමින් ඥානය දියුණු කරමින් වාසය කරන්නා වූ යෝගාවචරයා හට යම් අවස්ථාවකදී වැරදි හැඟීම් තුන දුරු වන පමණට පඤ්චස්කන්ධයාගේ අනිත්‍යාදි ලක්ෂණ තුන ප්‍ර‍කට ව පෙනෙන ඥානය ඇති වූයේ නම්, එකල්හි ඉන් පෙර කිසි කලෙක නොදුටු විරූ පරම ශාන්ත සුඛ ස්වරූප ලෝකෝත්තර නිර්වාණ ධාතුව ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැක අනාදිමත් සංසාරයෙහි අති දීර්ඝ කාලයක පටන් ඒ පුද්ගලයාගේ සන්තානයෙහි නැවත නැවත ඉපිද, නැවත නැවත පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය ගෙන දෙමින් පැවතියා වූ තෘෂ්ණාවෙහි ඖදාරික කොටස, මතු නූපදනාකාරයෙන් සහමුලින් නසන්නා වූ ලෝකෝත්තර ඥානයක් පහළ වන්නේ ය. එකල්හි පුද්ගලයා සෝවාන් වූයේ ය යි ද නිවන් දුටුවේ ය යිද කියනු ලැබේ. ඒ ඥානයට සෝවාන් මාර්ග ඥානය යි කියනු ලැබේ.

සෝවාන් වූ ඒ පුද්ගලයාගේ සන්තානයෙහි සූක්ෂම තෘෂ්ණාව ඉතිරි ව ඇත්තේ ය. එබැවින් එය දුරුකරනු පිණිස ඔහු විසින් නැවතත් පෙර සේ ම විදර්ශනා භාවනාවෙහි යෙදිය යුතු ය. භාවනා කරගෙන යන කල්හි නැවතත් පඤ්චස්කන්ධයාගේ අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය පළමු වාරයේ දී ප්‍ර‍කට වූවාට ද වඩා හොඳින් ප්‍ර‍කට වන පරිදි විදර්ශනා ඥානය දියුණු තියුණුව පහළ වූ විටෙක නැවත ද නිර්වාණ ධාතුව ප්‍ර‍ත්‍යක්ෂව පෙනී ඉතිරිව තිබෙන තෘෂ්ණාවෙහි ඖදාරික කොටසත් මතු නූපදනාකාරයෙන් දුරු කරන්නා වූ ලෝකෝත්තර ඥානයක් පහළ වන්නේ ය. ඒ ඥානයට සකෘදාගාමි මාර්ග ඥානය ය යි කියනු ලැබේ. සකෘදාගාමි මාර්ග ඥානය පහළ වීමෙන් ද තෘෂ්ණාව අවසන් වූයේ නො වේ. එබැවින් ඉතිරි තෘෂ්ණා දුරු කරනු පිණිස සකෘදාගාමි පුද්ගලයා නැවතත් පඤ්චස්කන්ධයාගේ අනිත්‍යාදි ලක්ෂණ නුවණින් විමසන්නේ ය. එසේ නැවත නැවත නුවණින් විමසමින් සිටින කල්හි විදර්ශනා ඥානය වඩාත් දියුණු තියුණු ව පහළ වූ විටෙක නැවතත් නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැක කාම - රාග වශයෙන් පවත්නා වූ තෘෂ්ණාව මතු නූපදනාකාරයෙන් නසන්නා වූ ලෝකෝත්තර ඥානයක් පහළ වන්නේ ය. එයට අනාගාමී මාර්ග ඥානය යි කියනු ලැබේ.

අනාගාමී වූ පසු ද රූප රාග - අරූප රාග වශයෙන් පවත්නා වූ තෘෂ්ණාව පවත්නේ ය. එබැවින් එය දුරු කරනු පිණිස අනාගාමි පුද්ගලයා නැවත ස්කන්ධයන් ගේ අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය ම විමසන්නට පටන් ගන්නේ ය. එසේ විමසමින් සිටිනා කල්හි ඒ ඥානය අතිශයින් දියුණු තියුණු ව පහළ වූ විටෙක දී නැවත නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැක රූප රාග-අරූප රාග වශයෙන් ම පැවතියා වූ තෘෂ්ණා ස්වල්පය ද මතු නූපදනාකාරයෙන් දුරු කොට තෘෂ්ණාව සම්පූර්ණයෙන් අවසන් කරන්නා වූ පරමෝත්කෘෂ්ට ලෝකෝත්තර ඥානයක් පහළ වන්නේ ය. එයට අර්හත් මාර්ග ඥානය යි කියනු ලැබේ. ඉන් පසු ඒ පුද්ගලයා හට ද රහතන් වහන්සේ කෙනෙකැ යි කියනු ලැබේ.

මෙසේ ස්කන්ධයාගේ අනිත්‍යාදි ලක්ෂණ ප්‍ර‍ත්‍යක්ෂ කර ගත හැකි වන පරිදි නුවණ දියුණු කරගෙන යන්නා වූ යෝගාවචරයන් කෙරෙහි ඒ ඥානය දියුණුවට පැමිණීමෙන් සතර වාරයක දී නිවන් දැක නසන්නා වූ යම් ලෝකෝත්තර ඥානයක් වේ නම් එයම තෘෂ්ණාව නසන ධර්මය වන්නේ ය. දුක්ඛ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට පැමිණිය හැක්කේ ඒ දුක්ඛෝත්පාදක තෘෂ්ණාව නැසීමෙන් ම බැවින් එය දුඃඛ නිරෝධයට නිර්වාණයට පමුණුවන්නා වූ, නිර්වාණය ලබා දෙන්නා වූ ධර්මය ද වන්නේ ය. එබැවින් එයට දුක්ඛ නිරෝධයට පැමිණෙන්නා වූ මාර්ගයයි ද, දුක්ඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යයයි ද, මාර්ග සත්‍යයයි ද කියනු ලැබේ.

ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය

නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය වූ ලෝකෝත්තර ඥානයට හුදකලාව ම නිවන් දක්නටත් තෘෂ්ණාව නසන්නටත් නො පිළිවන. එයට විශේෂයෙන් උපකාර වෙමින් එය හා බැඳී පවත්නා වූ එක්ව උපදින්නා වූ තවත් ධර්ම සතක් ඇත්තේ ය. ඒ ධර්ම සත ද මේ මාර්ග සත්‍යයට ඇතුළත් වන්නාහ. එබැවින් සර්වාකාර පරිපූර්ණ කොට මාර්ග සත්‍යය දක්වා වදාරන්නා වූ තථාගතයන් වහන්සේ විසින් -

“කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්චං? අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො. සෙය්‍යථිදං? සම්මාදිට්ඨි, සම්මාසංකප්පො, සම්මාවාචා, සම්මා කම්මන්තො, සම්මාආජීවො, සම්මා වායාමො, සම්මාසති, සම්මාසමාධි, ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛ නිරොධගාමිනී පටිපදා අරිය සච්චං” යි

වදාරන ලද්දේ ය. “මහණෙනි, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය කවරේද යත්? මේ ආර්‍ය්‍ය වූ අංග අටක් ඇත්තා වූ මාර්ගය යි. හේ කවරේද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහු ය. මහණෙනි, මෙය දුඃඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍ය යයි කියනු ලැබේ” ය යනු එහි තේරුම යි. මේ දේශනාවෙන් “ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය” යි කියනු ලබන-

  1. සම්‍යක් දෘෂ්ටිය
  2. සම්‍යක් සංකල්පය
  3. සම්‍යග් වචනය
  4. සම්‍යක් කර්මාන්තය
  5. සම්‍යගාජීවය
  6. සම්‍යග් ව්‍යායාමය
  7. සම්‍යක් ස්මෘතිය
  8. සම්‍යක් සමාධිය

යන මේ චෛතසික ධර්ම අට දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ච යයි දක්වන ලද්දේ ය. මෙහි සම්මා දිට්ඨි යනුවෙන් දක්වා තිබෙන්නේ යට කී තෘෂ්ණාව නසන්නා වූ ප්‍ර‍ඥාවය ය. සම්මා සංකප්පො යනාදීන් දක්වන ලදුයේ ඒ ප්‍ර‍ඥාව හා බැඳී පවත්නා වූ එයට උපකාර ධර්ම සත ය.

මේ චෛතසික ධර්ම අට පෘථග්ජන පුද්ගලයන් තුළ ද උපදනාහු ය. එහෙත් මේ අට ම එක සිතක් සමග එකවර පෘථග්ජන චිත්ත සන්තානයෙහි නූපදිති. පෘථග්ජන සන්තානයෙහි උපදිනුයේ එක් එක් වරකට එයින් කීපයක් කීපයක් බැගිනි. කීපය බැගින් උපදනා වූ ඒ ධර්මයන්ට මාර්ගාංග යන නාමය ද මාර්ග යන නාමය ද ලැබෙන නමුත් තෘෂ්ණා නාශක ශක්තිය ඒවාට නැති බැවින් ඒවා නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ච නො වෙති. මාර්ග සත්‍යය වනුයේ අට ම එකවර කෙලෙස් නැසිය හැකි ශක්තියෙන් යුක්තව උපන් කල්හි ය.

ක්ලේශ නාශක ශක්තියෙන් යුක්තව ලෝකෝත්තර භාවයට පැමිණ අට ම එකවර එක චිත්තයක උපදනා කල්හි ඒ ධර්මයන්ට පළමු වර පහළවීමේ දී සෝවාන් මාර්ග ය යි ද, දෙවන වර එසේ පහළවීමේ දී සකෘදාගාමී මාර්ග ය යි ද, තුන්වන වාරයේ දී අනාගාමී මාර්ග ය යි ද, සතරවන වාරයේ දී අර්හත් මාර්ග ය යි ද කියනු ලැබේ. මේ ධර්ම අට ලෝකෝත්තර වශයෙන් එකවර චිත්ත සන්තානයෙහි උපදවා ගත හැකි වන්නේ ඒ ධර්ම වෙන් වෙන් වශයෙන් ම සිය සිත් සතන්හි පෘථග්ජන කාලයේ දී දියුණු කළ තැනැත්තාට ය.

එබැවින් ලෝකෝත්තර මාර්ගය උපදවා නිවන් පසක් කරනු කැමති සත් පුරුෂයන් විසින් සම්‍යග්දෘෂ්ට්‍යාදි ධර්ම වෙන වෙන ම සිය සිත් සතන්හි දියුණු කළ යුතුය. එසේ දියුණු කරන්නා වූ තැනැත්තාට කවදා නමුත් එහි අවසානය වූ ලෝකෝත්තර මාර්ගය පහළ වන අවස්ථාවක් එළඹෙන්නේ ය. එසේ නො කරන්නා වූ තැනැත්තන්ට ඒ අගනා මොහොත කිසි කලෙක නො එළඹෙන්නේ ය. පූර්වභාගයෙහි ඒ ධර්ම වෙන් වෙන්ව දියුණු කර ගත හැකි වීමට ද ඒ ධර්ම අට මනා කොට දත යුතුය. එබැවින් මෙතැන් පටන් එකින් එක ඒවා විස්තර වශයෙන් දක්වනු ලැබේ.

සම්‍යග් දෘෂ්ටිය

දැනීම වනාහි වැරදි දැනීම ය, නිවැරදි දැනීම ය යි දෙවැදෑරුම් වේ. වීදුරු කැබැල්ලක් මැණිකක් ය කියා හෝ මැණිකක් ම වීදුරු කැබැල්ලක් ය කියා හෝ සිතන්නහු ගේ දැනීම බඳු දැනීම් වලට වැරදි දැනීම යයි කියනු ලැබේ. සියල්ල නො දන්නා වූ තැනැත්තන් තුළ නොයෙක් විට නොයෙක් කරුණු පිළිබඳ වැරදි දැනීම් හෙවත් වැරදි හැඟීම් ඇති වේ. ඒ වැරදි හැඟීම් අතර එය එසේ ම යයි පිළිගෙන සිටින්නා වූ සත්ත්වයා මරණින් මතු අපායට පමුණුවන්නා වූ ද, ඔහුට ස්වර්ග මාර්ගය හා මෝක්ෂ මාර්ගය ආවරණය කරන්නා වූ ද, වැරදි දැනීම් කොටසක් ඇත්තේ ය. ඒ කොටස ආගම ධර්මයෙහි මිථ්‍යා දෘෂ්ටිය යන නමින් හඳුන්වනු ලැබේ.

පින් ය, පව් ය කියා දෙයක් නැත - ඒවා ලොව රවටා ලාභ ලැබීමට ඇතමුන් කියන දේවල් ය, දන් දීමෙන් වස්තු හීනවීම මිස මතු ලබන ඵලයක් නැත. ප්‍රාණඝාතාදියෙන් වැළකීම මෙලොව කරදර වීම හැර මතු වන ශුභ සිද්ධියක් නැත, අපායක් කියා හෝ දෙව්ලොව බඹලොවක් කියා තැනක් නැත, මරණින් මතු නැවත ඉපදීමකුත් නැත. බුදුවරුය, රහතුන්ය කියා විශේෂ පුද්ගල කොටසක් නැත යනාදි වැරදි දැනීම් මිථ්‍යා වලින් සමහරෙකි.

ඒ ඒ දේවල් පිළිබඳව ඇති සැටියට ම ඇතිවන්නා වූ දැනීමට නිවැරදි දැනීම යයි කියනු ලැබේ. ඒ නිවැරදි දැනීම් අතර ද මිථ්‍යා දෘෂ්ටි යයි කියන ලද වැරදි දැනීම දුරු කරන්නා වූ ද, සත්ත්වයා හට අපා දුකින් මිදී සුගතියෙහි ඉපදීමට උපකාර වන්නා වූ ද, සසර දුකින් මිදී නිවනට පැමිණීමට උපකාර වන්නා වූ ද, විශිෂ්ඨ දැනීම් කොටසක් ඇත්තේ ය. ඒ කොටසට සම්‍යග් දෘෂ්ටිය යි කියනු ලැබේ. පින් පව් ඇති බව දැනීම, පින් පව් වල ඵල ඇති බව දැනීම, මරණින් මතු ඉපදීමක් ඇති බව දැනීම යනාදිය ඒ කොටසට අයත් දැනීම්වලින් සමහරෙකි.

“සම්මාදිට්ඨි - සම්‍යග්දෘෂ්ටි යන වචන වල තේරුම නම් නිවැරදි දැනීම ය හෙවත් නුවණ ය යනුයි. සම්‍යග් දෘෂ්ටිය එකක් වුව ද දැනගනු ලබන කාරණයන්ගේ වශයෙන් අනේක ප්‍රභේද වන්නේ ය. එබැවින් නොයෙක් සූත්‍ර‍ ධර්මයන්හි නොයෙක් ආකාරයෙන් සම්‍යග් දෘෂ්ටිය දක්වා තිබේ. කෙටි ක්‍ර‍මයකින් කියතහොත් -

  1. දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය
  2. චතුස්සත්‍ය සම්‍යග්දෘෂ්ටිය ය යි

සම්‍යග් දෙවැදෑරුම් වන බව කිය යුතු ය. එහි දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය යනු කරුණු දසයක් සම්බන්ධයෙන් පවත්නා වූ සම්‍යග්දෘෂ්ටියයි.

දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය

සම්මා දිට්ඨිකො හොති අවිපරීත දස්සනො, අත්ථි දීන්නං, අත්තියිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරොලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති

යනුවෙන් දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය ප්‍ර‍කාශිතය. මෙයින් දන්දීමේ විපාක ඇති බවය, පූජා කිරීමේ විපාක ඇති බවය, ගුණවතුන්ට පුද පඬුරු යැවීමේ විපාක ඇති බවය, කරන හොඳ නරක ක්‍රියාවල විපාක ඇති බවය, පරලොව සිටින්නන් නැවත මෙලොව ඉපදීම් වශයෙන් පැමිණෙන බවය, මෙලොව සිටින්නන් ඉපදීම් වශයෙන් පරලොවට පැමිණෙන බවය, මවට කරන හොඳ නරක දෙක්හි විපාක ඇති බවය, පියාට කරන හොඳ නරක දෙක්හි විපාක ඇති බවය, මරණින් මතු නැවත උපදින සත්ත්වයන් ඇති බවය, යහපත් මාර්ගයෙහි ගියා වූ යහපත් පිළිවෙත්හි පිළිපන්නා වූ මෙලොව පරලොව දෙක තෙමේ ම ප්‍ර‍ඥාවෙන් ප්‍ර‍ත්‍යක්ෂ කරගෙන මෙලොව පරලොව දෙක ලොවට ප්‍ර‍කාශ කරන්නා වූ ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇති බවය යන කරුණු දසය පිළිබඳ නිවැරදි දැනීම සම්‍යග්දෘෂ්ටිය බව දක්වන ලදි.

1. අත්ථි දින්නං

ශ්‍ර‍මණබ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට පින් සලකා පූජා වශයෙන් හෝ අනුග්‍ර‍හ වශයෙන් හෝ ආහාර පාන වස්ත්‍රාදි වස්තූන් පරිත්‍යාග කිරීමෙන් එසේ කරන්නා වූ තැනැත්තා හට අනාගතයෙහි බොහෝ සැප සම්පත් ලැබෙන බව ස්වශක්තියෙන් ම හෝ අන්‍යයන්ගෙන් ඇසීමෙන් හෝ දැන ඒ බව විශ්වාස කිරීම අත්ථිදින්නං යනුවෙන් දැක්වෙන්නා වූ සම්‍යග්දෘෂ්ටිය යි. දන් දීමෙන් දෙන තැනැත්තාගේ වස්තුව නැතිවීම මිස එයින් මතු ලැබෙන ඵලයක් නැතය යි වරදවා පිළිගැනීම මිථ්‍යා දෘෂ්ටියකි.

2. අත්ථි යිට්ඨං

“යිට්ඨ” යනු මහා පූජා මහා දානයන්ට නමෙකි. බොහෝ මල් පහන් ආහාර පාන වස්ත්‍රාදිය ගෙන පවත්වන්නා වූ මහා පූජාවන්ගෙන් ද සිය ගණන් දහස් ගණන් ප්‍ර‍තිග්‍රාහකයන් විෂයෙහි පවත්වන්නා වූ මහා දානයන්ගෙන් ද ඒවා කරන්නවුන්ට මතු දිව්‍ය මනුෂ්‍ය ලෝක දෙක්හි බොහෝ සම්පත් ලැබෙන බව දැනගැනීම පිළිගැනීම අත්ථි යිට්ඨ යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. ඇතැම්හු බොහෝ මල් පිදීමෙන් වනුයේ විහාරවල කසළ ගොඩ වීම පමණකැයි ද, බොහෝ පහන් පිදීමෙන් වනුයේ තෙල් විනාශ වීම පමණකැයි ද, විහාරවලට චෛත්‍යවලට ආහාරපාන පිදීමෙන් වනුයේ ආහාරපාන රාශියක් විනාශවීම පමණකැයි ද, මහා දන් දීමෙන් වනුයේ වස්තු රාශියක් විනාශ වීම පමණකැයි ද, ඒවායින් පූජා කරන්නවුන්ට මතු වන වැඩෙක් නැතැයි ද වරදවා පිළිගනිති. එය මිථ්‍යාදෘෂ්ටියකි.

3. අත්ථි හුතං

පින් සලකා ගුණවතුන් වෙත ආහාර පානාදි වස්තූන් පඬුරු කොට යැවීම මරණින් මතු ඉෂ්ට ඵල විපාක ගෙන දෙන්නා වූ පුණ්‍ය කර්මයක් බව පිළිගැනීම අත්ථි හුතං යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. එයින් මතු ලැබෙන ඵලයක් නැතැ යි ගැනීම මිථ්‍යා දෘෂ්ටියකි.

4. අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො

යහපත් ක්‍රියාවෝ ය යි කියනු ලබන විහාර දාගැබ් දහම් හල් පොත්ගුල් කිරීම කරවීම පින් සලකා අන්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස ළිං පොකුණු අම්බලම් කිරීම, කරවීම, අන්‍යයන් ගේ ප්‍රයෝජනය පිණිස මල් ඵල හට ගන්නා ගස් වැල් රෝපණය කිරීම, කරවීම, ගිලනුන්ට, දුබලයන්ට, මහල්ලන්ට, දිළිඳුන්ට උපකාර කිරීම, බණ කීම, බණ කියවීම, බණ ඇසීම, ඇස්වීම, පන්සිල් රැකීම, පොහොය අටසිල් රැකීම, දසසිල් රැකීම, පැවිදිවීම, භාවනා කිරීම යනාදියෙන් ඒවා කරන්නවුන්ට මතු භවයන්හි ලැබෙන්නා වූ ඉෂ්ට විපාකයන් ඒකාන්තයෙන් ඇත්තේ ය. එසේ ම නො මනා ක්‍රියාවෝ යයි කියනු ලබන ප්‍රාණඝාතාදි කර්මයන්ගෙන් ද, ඒවා කරන්නවුන්ට ඒවායින් මතු භවයන්හි ලැබෙන අනිෂ්ට විපාකයන් ද ඒකාන්තයෙන් ඇත්තේ ය. මෙසේ යහපත් වූ ද, අයහපත් වූ ද, කර්මයන්ගෙන් මතු ලබන ඵල-විපාක ඇති බව දැන ගැනීම විශ්වාස කිරීම අත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකො යනුවෙන් දැක්වෙන සම්‍යක්දෘෂ්ටිය යි. මෙලොව දී කුමක් කළත් ඒවායින් මරණින් මතු පරලොව දී ලබන ඵල-විපාකයක් නැත ය යන පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය කි.

5. අත්ථි අයං ලොකො

අප වාසය කරන්නා වූ මේ ලෝකය හැර අපේ ලෝකයට සම වූ සැප දුක් ඇත්තා වූ අපේ ලෝකයට බොහෝ වෙනස් වූ සැප දුක් ඇත්තා වූ, තවත් බොහෝ ලෝකයෝ ඇත්තාහු ය. ලෝකවල වෙසෙන සත්ත්වයෝ වනාහි සෑම කල්හි ම එක ලෝකයක ම වාසය කරන්නෝ නොවෙති. ඔවුහු නොයෙක් වර තම තමා සිටින ලෝකවලින් චුත ව තමා වසන ලෝකයෙන් ඉතා දුර පිහිටි ලෝකයන්ට ද පැමිණෙන්නාහු ය. එබැවින් අපේ ලෝකයෙන් පිටත අන්‍ය ලෝකයන්හි වෙසෙන්නා වූ සත්ත්වයෝ ඒ ලෝකවලින් චුතව අප වාසය කරන්නා වූ මේ ලෝකයට එන්නාහු ය. එසේ අපේ ලෝකයෙන් ඈත ලෝකයෙහි සිටින සත්ත්වයන් හට ඉපදීම් වශයෙන් පැමිණීමට අපේ ලෝකය ද ඇති බව කියනු ලැබේ. එය එසේ දැන ගැනීම, පිළිගැනීම, අත්ථි අයං ලෝකෝ යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. එක ලෝකයක සිටින සත්ත්වයෙක් තවත් ලෝකයකට නො යන්නේ ය. අපේ ලෝකයෙන් පිටත ලෝකවල සත්ත්වයෝ ඒ ඒ ලෝකවලට ම වාසය කරන්නාහු මිස මේ ලෝකයට නො එන්නාහු ය යි ගැනීම මිථ්‍යාදෘෂ්ටියකි.

6. අත්ති පරො ලොකො

මෙලොව වාසය කරන්නා වූ සත්ත්වයා ද මෙලොවින් චුතව මේ ලෝකයට ඉතා දුරින් පිහිටි අපාය ලෝකාදි අන්‍ය ලෝකයන්ට ඉපදීම් වශයෙන් පැමිණෙන්නේ ය. එබැවින් මෙලොව සිටින්නා වූ සත්ත්වයාට ද ඉපදීම් වශයෙන් පැමිණෙන්නට පරලොවක් ඒකාන්තයෙන් ඇති බව අත්ථි පරො ලොකො යනුවෙන් දැක්වෙන සම්‍යග්දෘෂ්ටියයි. ඇතැම්හු මෙලොව සිටින්නා වූ සත්ත්වයෝ මෙලොව ම උපදනාහු නමුත් මේ ලෝකයෙන් අන්‍ය ලෝකයකට නො යන්නාහු ය. එසේ ඉපදීම් වශයෙන් පැමිණීමට මෙලොවින් පිටත තවත් ලෝකයක් නැත. අපායත් මේ ලෝකයේ ම ය, දෙව්ලොවත් මේ ලෝකයේ ම ය, බඹලොවත් මේ ලෝකයේ ම යයි වරදවා පිළිගනිති. එය මිථ්‍යාදෘෂ්ටියකි.

7. අත්ථි මාතා

මව්වරුන්ට කරන්නා වූ උපකාරාපකාරයන් නිසා දරුවන්ට අනාගතයෙහි ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද විපාක කොටසක් ඒකාන්තයෙන් ලැබෙන්නේ ය. ඒ බව එසේ ම දැන ගැනීම පිළිගැනීම අත්ථිමාතා යනුවෙන් දැක්වෙන සම්‍යක් දෘෂ්ටියයි. මව්වරුන්ට කරන දේවලට ඵල-විපාකයක් නැත ය යි ගැනීම මිථ්‍යා දෘෂ්ටියකි.

8. අත්ථි පිතා

පියවරුන්ට කරන උපකාරාපකාරයන් නිසා මතු භවයන්හි දරුවන්ට ලැබෙන්නා වූ ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද, ඵල-විපාකයන් ඇති බව පිළිගැනීම අත්ථි පිතා යනුවෙන් දැක්වෙන සම්‍යක් දෘෂ්ටියයි. පියවරුන්ට කරන උපකාරාපකාරයන්ට ලැබෙන ඵල විපාකයන් නැතය යි ගැනීම මිථ්‍යාදෘෂ්ටියකි.

9. අත්ථි සත්තා ඕපපාතිකා

මැරෙන සත්ත්වයන් එයින් කෙළවර නො වී තෘෂ්ණාව ප්‍ර‍හාණය කරන තුරු කර්මානුරූපව සසර නැවත නැවතත් උපදනා බව පිළිගැනීම අත්ථි සත්තා ඕපපාතිකා යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. තවත් ක්‍ර‍මයකින් කියත හොත් ලෝකයෙහි මවක පියකු නොමැතිව කර්ම ශක්තියෙන් සර්වාංග ප්‍ර‍ත්‍යංග පරිපූර්ණත්වයෙන් පහළවීම් වශයෙන් උපදනා වූ සත්ත්ව කොටසක් ඇත්තේ ය. ඔවුන්ට ඕපපාතික සත්ත්වයෝ යයි කියනු ලැබේ. නරකයන්හි හා දිව්‍යලෝක බ්‍ර‍හ්ම ලෝකයන්හි ඇත්තේ ඒ වර්ගයට අයත් සත්ත්වයෝ ය. ඕපපාතික නම් වූ එබඳු කොටසක් ඇති බව දැන ගැනීම පිළිගැනීම සම්‍යක් දෘෂ්ටිය යි.

“ඇතැම්හු දෙවියෝ ය, බ්‍ර‍හ්මයෝ ය කියා සත්ත්ව කොටසක් සත්‍ය වශයෙන් නැත. ඔවුහු මනුෂ්‍යයන් විසින් සිතින් මවා, ඇති සේ ප්‍ර‍කාශ කරනු ලබන සත්ත්ව කොටසක් ය. ඔවුන් ඇත්තේ මෝඩ මිනිසුන්ගේ සිත්වල පමණක් ය යි කියමින් ද, තවත් සමහරු දිව්‍ය බ්‍ර‍හ්මයෝ නම් පෙර ඒ නම් වලින් විසුවා වූ මනුෂ්‍යයෝ ම ය, මනුෂ්‍යයන් හැර අමුතු ලෝකයක වෙසෙන දිව්‍ය බ්‍ර‍හ්මාදීහු ය යි කියනු ලබන අමුතු ආනුභාවයක් ඇති මිනිසුන්ට නො පෙනෙන අමුතු සත්ත්ව කොටසක් නැත ය යි කියමින් ද ඕපපාතික සත්ත්වයන් නැත” ය යි වරදවා පිළිගනිති. එය මිථ්‍යාදෘෂ්ටියකි.

10. අත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති.

සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සිහිනුවණට වඩා විශිෂ්ට වූ සිහි නුවණ හා ‍කොතරම් අමාරු දෙයකට වුවත් නො පසුබස්නා වීර්‍ය්‍යය ද කොතරම් දුකක් වුවත් ඉවසන්නා වූ ස්වභාවය ද, උත්පත්තියෙන් ම පිහිටන්නා වූ උත්තම පුරුෂයෝ ලෝකයෙහි කලාතුරකින් උපදනාහු ය. එබඳු උත්තම පුරුෂයන්ගෙන් සමහර කෙනෙක් පැවිදිව මහත් වූ උත්සාහයෙන් ධ්‍යාන වඩා සාමාන්‍ය මනුෂ්‍යයන් විසින් ඇසේ උපකාරයෙන් දක්නා දේවල් ඇසේ උපකාරය නොමැතිව දැකිය හැකි වන්නා වූ ද, සාමාන්‍ය මනුෂ්‍යයන් විසින් කනින් අසා දැන ගන්නා වූ දේවල් කනින් නො අසා ම දත හැකි වන්නා වූ ද, පෙර ජාති වල දී පවා සිටි සැටි හා කළ කී දේ සිහි කළ හැකි වන්නා වූ ද, මැරෙන්නා වූ සත්ත්වයන්ගේ ඒ ඒ තැන්වල ඉපදීව කිය හැකි වන්නා වූ ද අභිඥාව ය යි කියනු ලබන විශිෂ්ට ඥානය උපදවා ගනිති.

ඒ ඥානය උපදවා ගත්තා වූ මහෝත්තමයෝ එයින් මිනිසුන්ගේ ප්‍ර‍කෘති ඇසින් නො දැකිය හැකි සූක්ෂ්ම ශරීර ඇත්තා වූ දිව්‍ය බ්‍ර‍හ්මාදි සත්ත්වයන් ඇසින් දක්නාක් මෙන් ම දක්නාහු ය. අපගේ ලෝකයට ඉතා දුරින් පිහිටි අපාය ලෝක හා දිව්‍ය ලෝක බ්‍ර‍හ්ම ලෝක ද ඒ තැන්වලට පැමිණ බලන්නකු විසින් දක්නා පරිද්දෙන් පිරිසිදුව දක්නාහු ය. නොයෙක් ආකාර සැප දුක් ඇති ඒ ඒ ලෝකවල ඉපිද සිටින සත්ත්වයන්ගේ උත්පත්තියට හේතු වූ කර්ම ද දක්නාහු ය. එසේ දක්නා වූ ඒ මහෝත්තමයෝ තමාගේ දැකීම පරිදි දිව්‍ය බ්‍ර‍හ්මයන් ඇති බව ද ප්‍රේතයන් හා නේරයික සත්ත්වයන් ඇති බව ද ඔවුන්ගේ සැටි හා ඔවුන් විඳිනා සැප දුක් ද ඔවුන්ගේ වාසස්ථාන වූ ලෝක ද ප්‍ර‍කාශ කරන්නා හ. පින් පව් ඇති බව ද පින් පව්වල ඵල-විපාක ඇති බව ද ප්‍ර‍කාශ කරන්නාහු ය.

ලෝකයෙහි ඉතා දීර්ඝ කාලයකින් පහළ වන්නා වූ සමහර උත්තම පුද්ගලයෝ ඒ අභිඥා සංඛ්‍යාත ඥානය අර්හත්වයත් සමග සියල්ල දක්නා ඥානයත් සමග ද උපදවා ගන්නාහු ය. එබඳු පුද්ගලයන්ට බුදුවරයෝ ය යි කියනු ලැබේ. බුදුවරයෝ වනාහි අභිඥාව පමණක් උපදවා ගත්තවුන්ට නො පෙනෙන්නා වූ ඉතා දුර පිහිටි ලෝකයන් හා නිර්වාණයත් නිර්වාණ මාර්ගයත් සියල්ල දැන විශිෂ්ට වූ ධර්මයක් දේශනා කරන්නාහු ය. ඒ විශිෂ්ට ඥානය ඇති කරගෙන සිටින්නා වූ මහෝත්තමයන්ට එබඳු ඥානයක් ඇති බව පිළිගැනීම ද, උන් වහන්සේලා විසින් පවසන පරිදි තවත් ලෝක ඇති බව පිළිගැනීම ද, දිව්‍ය බ්‍ර‍හ්මාදි වූ මිනිස් ඇසින් දැකිය නොහෙන ඕපපාතික සත්ත්වයන් ඇති බව පිළිගැනීම ද සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය ඇති බව පිළිගැනීම ද නිර්වාණයට පැමිණිය හැකි ප්‍ර‍තිපත්ති හා ඒ ප්‍ර‍තිපත්තියෙන් නිවනට පැමිණිය හැකි බව පිළිගැනීම ද අත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා-පෙ-පවෙදෙන්ති යනුවෙන් දැක්වෙන සම්‍යක් දෘෂ්ටිය යි.

අත්ථි දින්නං අත්ති යිට්ඨං යනාදීන් දක්වන ලද පූර්ව සම්‍යක් දෘෂ්ටි නවය ද අත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා යනාදීන් දක්වන මේ දසවන සම්‍යග්දෘෂ්ටියට ඇතුළත් වේ. එබැවින් මේ අන්තිම සම්‍යක් දෘෂ්ටිය කියන ලද සම්‍යග්දෘෂ්ටි වශයෙන් ප්‍ර‍ධාන සම්‍යග්දෘෂ්ටිය වන්නේය. පින් පව් හා ඒවායේ ඵල විපාක ඇති බව ද මතු ඉපදීමක් ඇති බව ද, අපාය හා දිව්‍ය බ්‍ර‍හ්ම ලෝක ඇති බව ද, උගන්වන්නා වූ ඇතැම් අන්‍යාගම්වල ද මේ දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය ඇත්තේ ය. එහෙත් බුද්ධාගමෙහි තිබෙන දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය සේ අන්‍යාගම්වල තිබෙන ඒ සම්‍යග්දෘෂ්ටිය පිරිසිදු ද නැත. සම්පූර්ණ ද නැත. බුදුසස්නෙන් පිටත පවත්නා වූ ඒ සම්‍යග් දෘෂ්ටිය ස්වර්ගයට පැමිණීමට මිස නිවනට පැමිණීමට උපකාරක නො වේ. ඒ ආගම්වල නිවනක් නො දක්වන බැවිනි. බුද්ධාගම වනාහි දිව්‍ය ලෝක බ්‍ර‍හ්ම ලෝකයන් හා නිර්වාණය ද දක්වන්නා වූ ධර්මයක් බැවින් බුද්ධාගමෙහි ඇති දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය ස්වර්ග මෝක්ෂ දෙක ම ලබා ගැනීමට උපකාර වන්නේ ය.

දුක්ඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය යි කියන ලද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවන අංගය වූ සම්‍යග් දෘෂ්ටිය මේ දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය නො වේ. එයට චතුස්සත්‍යය සම්‍යග් දෘෂ්ටිය යි කියනු ලැබේ. එය මේ දස වස්තුක සම්‍යග් දෘෂ්ටියට වඩා බොහෝ උසස් සම්‍යග් දෘෂ්ටියකි. දශ වස්තුක සම්‍යග් දෘෂ්ටිය මෙහි දක්වන ලදුයේ පළමුව එහි නො පිහිටා චතුස්සත්‍යය සම්‍යග් දෘෂ්ටිය උපදවා ගන්නට හෝ නිවනට පැමිණෙන්නට ද නුපුළුවන් බැවින් එය ද වුවමනා බැවිනි. සසර දුකින් මිදී නිවනට පැමිණෙනු කැමති තැනැත්තන් විසින් පළමු කොට ශාසනික දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටිය යුතු ය. බුද්ධාගමට එන්නා වූ තැනැත්තන් පළමුකොට ම තිසරණයෙහි පිහිටුවන්නේ ඔවුනට තිසරණය සමාදන් කරවන්නේ ඔවුන් මේ ශාසනික දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටුවීම පිණිස ය. යමෙක් ත්‍රිවිධ රත්නය සරණ යෑමෙන් දශ වස්තුක සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටියේ නම් එයට බැස ගන්නේ වේ නම් එය නිර්වාණ ගාමිනී මාර්ගයට පළමු පියවර තැබීම වන්නේ ය.

පළමුව දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි නො පිහිටා මාර්ග ඵලාධිගමනය කොට නිවන් ගිය කෙනෙක් නැත්තේ ය. යමෙක් පෙර සසර දුකින් මිදී නිවනට පැමිණියාහු නම් ඒ සියල්ලෙන් ම නිවනට පැමිණියේ පළමු දශවස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා පිළිවෙත් පිරීමෙන් ය. අනාගතයෙහි යමකුට නිවනට පැමිණිය හැකි වන්නේ නම් එසේ හැකි වන්නේ ද මේ සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා පිළිවෙත් පිරීමෙන් ය. එබැවින් සසර දුකින් මිදෙනු කැමති සෑම දෙනා විසින් ම සම්‍යග් දෘෂ්ටිය පිරිසිදු කර ගත යුතුය. අපායක් නැත, දෙව්ලොවක් නැත යනාදීන් ඇතමුන් පවසන මිථ්‍යා මතවලට මුළා නොවිය යුතුය. යම් යම් කරුණක් ගැන සැක ඇති වුවහොත් එය සිඳීමට තරම් බණ දහම් දැනුම ඇති නියම සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා සිටින උතුමකු වෙත එළඹ කරුණු විචාරා සැක දුරු කර ගෙන දෘෂ්ටිය පිරිසිදු කරගත යුතු ය. මෙකල ගිහියන් අතර පමණක් නොව බෞද්ධ භික්ෂූන් අතර ද මිථ්‍යාමතධාරීන් නැත්තේ නො වේ. ඔවුන්ගෙන් පරෙස්සම් වෙත්වා. අපාය භයින් මිදීමට ස්වර්ග මෝක්ෂ සම්පත් ලබා ගැනීමට සම්‍යග් දෘෂ්ටිය සේ උපකාරක අන්‍ය ධර්මයක් නැත.

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එක ධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. යථයිදං භික්ඛවෙ සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ! අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති; උප්පන්නා ච කුශලා ධම්මා භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති”

“මහණෙනි, සම්‍යග් දෘෂ්ටිය පමණ නූපන්නා වූ කුශල ධර්මයන් ඉපදීමට හේතුවන්නා වූ ද උපන් කුශල ධර්මයන් වැඩීමට හේතු වන්නා වූ ද අන් ධර්මයක් නො දනිමි. මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයා හට නූපන් කුශලයෝ ද උපදනාහ. උපන් කුශලයෝ ද වැඩෙන්නාහු ය” යනු මෙහි තේරුමයි.

චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය

“තත්ථ කතමා සම්මාදිට්ඨි? දුක්ඛෙ ඤාණං, දුක්ඛ සමුදයෙ ඤාණං, දුක්ඛ නිරොධෙ ඤාණං, දුක්ඛ නිරොධ ගාමිනියා පටිපදාය ඤාණං, අයං වුච්චති සම්මා දිට්ඨි”

මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය විස්තර කර තිබෙන්නා වූ සිය ගණනක් සූත්‍ර‍ ධර්මවල හා අභිධර්ම පිටකයෙහිත් මාර්ග සත්‍යයට අයත් සම්මාදිට්ඨිය දේශනා කර තිබෙන ආකාරයයි. දුක්ඛ සත්‍ය දන්නා ඥානය, සමුදය සත්‍ය දන්නා ඥානය, නිරෝධ සත්‍ය දන්නා ඥානය, මාර්ග සත්‍ය දන්නා ඥානය යන මේ සතර, සම්‍යග් දෘෂ්ටියයි මෙයින් දක්වන ලදි. චතුස්සත්‍ය සම්බන්ධයෙන් පවත්වා බැවින් මේ ඥානයට චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටියයි කියනු ලැබේ.

මෙයට පළමුවෙන් දැක් වූ දශ වස්තුක සම්‍යග් දෘෂ්ටිය වනාහි බුද්ධාගමෙන් අන්‍ය වූ ආගම් වල ද ඇත්තේ ය. මේ චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය වනාහි බුද්ධාගමෙහි ම මිස අන් කිසි ම ආගමක නැත්තේ ය. බුද්ධෝත්පාද කාලවලදී මිස අබුද්ධෝත්පාද කාලවලදී මෙය ලෝකයෙහි නැත්තේ ය. එබැවින් මෙය දුර්ලභ වූ සම්‍යක් දෘෂ්ටියෙකි. අනේකාකාර සම්‍යක් දෘෂ්ටීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ සම්‍යක් දෘෂ්ටිය ද මෙය ම ය. මේ ශ්‍රේෂ්ඨ සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම සඳහා චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය මැනවින් උගත යුතු ය. මෙය කියවන්නා වූ සමහරුන්ට “පෙර කී දශ වස්තුක සම්‍යක් දෘෂ්ටිය ඕනෑ නැත. චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය දැන උගෙන චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය පමණක් ඇති කර ගත්තාම ඇත” යයි සිතෙන්නට පුළුවන. එසේ සිතුන හොත් එය වැරදීමකි.

මේ චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය ඉතා පුළුල් සම්‍යග් දෘෂ්ටියකි. දශ වස්තුක සම්‍යග් දෘෂ්ටිය ද මෙයට ඇතුළත් වේ. චතුස්සත්‍ය දත් තැනැත්තෙක් වුවහොත් හෙතෙම ඒකාන්තයෙන් පින් පව් ඇති බව, පින් පව් වල ඵල විපාක ඇති බව, පරලොව ඇති බව යනාදිය පිළිගන්නෙක් වේ. ඒවා නො පිළිගන්නකු වුවහොත් ඔහු චතුරාර්‍ය්‍ය සත්‍ය දත් තැනැත්තෙක් හෙවත් චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටියෙන් සම්‍යග් දෘෂ්ටික වූවෙක් නො වන්නේ ය. එහෙත් දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙන් සම්‍යග් දෘෂ්ටික වූ පමණින් චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටියෙන් සම්‍යග් දෘෂ්ටික නො වන්නේ ය.

මේ චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටිය සාමාන්‍යයෙන් එකක් කොට කියනු ලබන නමුත් දුක්ඛ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය, සමුදය සත්‍ය සම්‍යග් දෘෂ්ටිය, නිරෝධ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය, මාර්ග සත්‍ය සම්‍යග් දෘෂ්ටිය යි සත්‍යයන්ගේ වශයෙන් සතරක් වේ.

එයින් දුඃඛ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි පඤ්චස්කන්ධය දුක් රැසක් මිස සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නො වන බව පෙනීමෙන් සත්කාය දෘෂ්ටිය දුරුවේ. සමුදය සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි තෘෂ්ණා හේතුවෙන් සත්ත්වයා මතු භවයෙහි උපදවන බව දැකීමෙන් මරණින් මතු ඉපදීමක් නැතය යන උච්ඡේද දෘෂ්ටිය දුරු වේ. නිරෝධ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි හේතු ධර්මයන්ගේ නිරෝධයෙන් ඵල ධර්මයන්ගේ නිරෝධය වන බව දැකීමෙන් ආත්මය නිත්‍යය යි ගන්නා වූ ශාශ්වත දෘෂ්ටිය දුරු වේ. මාර්ග සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි ප්‍ර‍තිපත්තිය කරණ කොට ගෙන නිවනට පැමිණෙන බව අවබෝධ වීමෙන් සත්ත්වයන්ගේ ඒ ඒ ජාතිවල ඉපදීම හා විශුද්ධියට පැමිණීම, ඉබේම සිදුවනවා මිස තමා විසින් කරන්නා වූ හෝ ශ්‍ර‍මණ බ්‍රාහ්මණාදි අනිකකු විසින් කරන්නා වූ හෝ ක්‍රියාවකින් ප්‍ර‍තිපත්තියකින් සිදු නො වේය යන “නත්ථි අත්තකාරො නත්ථි පරකාරෙ නත්ථි පුරිසකාරෙ” යනාදීන් දැක්වෙන අක්‍රිය දෘෂ්ටිය ද කිසි ම හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැතිව ඉබේ ම සත්ත්වයන්ගේ කෙලෙසීම හා පිරිසිදු වීමත් සිදු වන්නේ ය යන අහේතුක දෘෂ්ටිය ද දුරු වේ.

තවද දුඃඛ සත්‍යය දැනීම හේතු කොට ගෙන සමුදය සත්‍යයාගේ ඵලය වූ නිත්‍ය-සුභ-සුඛ-ආත්ම ස්වභාවයන්ගෙන් විරහිත වූ පංචස්කන්ධය සම්බන්ධයෙන් පවත්නා වූ පංචස්කන්ධය නිත්‍යය, යහපත් ය, සුවයක් ය, ආත්මයක්ය යන වැරදි හැඟීම් දුරුවන්නේ ය. සමුදය සත්‍යය තත්ත්වාකාරයෙන් නො දැනීම හේතු කොට ගෙන ලොව විසූ නොයෙක් ශාස්තෘවරයන් විසින් ඇති කරන ලද දෘෂ්ටි බොහෝ ය.

(1) සර්වබලධාරී වූ යම්කිසි දෙවියෙක් හෝ බ්‍ර‍හ්මයෙක් හෝ මේ ලෝකය ද මවන්නේ ය. මවා ඔහුගේ කැමැත්ත පරිදි ලෝකය පවත්වන්නේ ය, විනාශ කරන්නේ ය යනු එක් දෘෂ්ටියකි. එයට ඊශ්වර නිර්මාණ වාදය යයි කියනු ලැබේ.

(2) ප්‍ර‍කෘතිය යි කියන ලද අව්‍යක්ත හේතුවක් ඇත්තේ ය. ලෝකයත් ලොව ඇති සියල්ලත් එයින් හට ගන්නේය: සත්ත්වයෝ ද එයින් ම පහළ වන්නෝය: විනාශය පැමිණි කල්හි නැවත සියල්ල ම ඒ ප්‍ර‍කෘති ස්වභාවයට පැමිණ සැඟවෙන්නේ ය: ලොව මවන්නා වූ, මවා පාලනය කරන්නා වූ, ප්‍ර‍කෘති ස්වභාවයෙන් අන්‍ය වූ ඊශ්වරාදි කිසිවෙක් නැත යනු එක් දෘෂ්ටියෙකි. එයට ‘ප්‍ර‍ධාන වාදය’ යි ද ‘ප්‍ර‍කෘති වාදය’ යි ද කියනු ලැබේ.

(3) දිව්‍ය බ්‍ර‍හ්මාදි කිසි ම කෙනකුගේ බලයකින් නොව කාලය හේතු කොට ම ලෝකයේ ද සත්ත්වයන් ගේ පහළ වීමත් විනාශයක් වන්නේ ය: ලොව මවන්නාත් නසන්නාත් කාලය ම ය යනු එක් දෘෂ්ටියකි. එයට “කාලවාදය” යි කියනු ලැබේ.

(4) උල් කරන්නා වූ කෙනකු නො මැති ව ගස්වල කටු උල් වීම ය, වට කරන්නකු නොමැතිව බෙලි දිවුල් ආදි ගෙඩි වටවීම ය, විසිතුරු කොට සරසන කෙනකු නොමැතිව මෘග පාක්ෂීන්ගේ ශරීර නොයෙක් වර්ණවලීන් සැරසීම ය යනාදිය ස්වභාව ශක්තියෙන් ම සිදුවන්නාක් මෙන්, ස්වභාව ශක්තියෙන් ම ලෝකය මැවී ස්වභාව ශක්තියෙන් ම ලෝකය නැසේ ය යනු එක් දෘෂ්ටියකි. එයට ‘ස්වභාව වාදය’ යි කියනු ලැබේ.

සමුදය සත්‍යය නො දැකීමෙන් නැගී තිබෙන්නා වූ තවත් මෙබඳු මිථ්‍යාවාද සියල්ල ම සමුදය සත්‍යය අවබෝධ කරන්නා වූ තැනැත්තාට සම්‍යග්දෘෂ්ටිය නිසා දුරු වන්නේ ය. ඇතැමෙක් සත්‍ය වූ නිර්වාණය නො දැනීම නිසා අසංඥතල අරූපතලාදි ස්ථානයන් නිර්වාණයයි වරදවා ගෙන ඒවාට පැමිණෙනු සඳහා උත්සාහ කරන්නාහු ය. නිරෝධ සත්‍යාවබෝධක ඥානය එබඳු හැඟීම් දුරු කරන්නේ ය. මාර්ග සත්‍යාවබෝධක ඥානය කාමසුඛල්ලිකානුයෝග අත්තකිලමථානුයෝගාදි වූ අවිශුද්ධ මාර්ගයන් විශුද්ධි මාර්ගය යි වරදවා ගෙන පිළිපදින්නවුන්ගේ ඒ වැරදි හැඟීම් දුරු කරන්නේ ය.

මේ සම්‍යග් දෘෂ්ටි සංඛ්‍යාත මාර්ගාංගය ස්වසන්තානයෙහි උපදවනු කැමතියන් විසින් ලබනු කැමතියන් විසින් දුඃඛාදි ආර්‍ය්‍ය සත්‍යයන් වෙන වෙන ම ගුරුන් වෙතින් උගෙන නැවත නැවත පුරුදු පුහුණු කළ යුතු ය. එසේ කරන කල්හි ඒ ඒ සත්‍යයන් දන්නා වූ සම්‍යග් දෘෂ්ටිය ඔවුන් තුළ පහළ වන්නේ ය. ඒ ඥානය ලෞකික ය. එය දියුණු කර ගෙන යන කල්හි යම් කිසි දිනයක දී ආර්‍ය්‍ය සත්‍ය සතර ම එක් වර දැක කෙලෙසුන් නසා නිවනට පමුණුවන්නා වූ ලෝකෝත්තර සම්‍යග් දෘෂ්ටිය මාර්ග චිත්තයන් සමග පහළ වන්නේ ය.

සම්‍යක් සංකල්පය

අන්ධකාරයෙහි සිට තමා අවට තිබෙන දේවල් අතගා බලා දැනගන්නා කෙනකුට දත හැකි වන්නේ තමා අවට තිබෙන දේවල් අතුරෙන් යම් යම් දෙයකට තමාගේ අත පැමිණියේ නම් ඒ ඒ දේවල් පමණකි. යමකට අත නො පැමිණියේ නම් ඒ දේවල් ඇති බව ඔහුට නො දැනෙන්නේ ය. එමෙන් යම් යම් අරමුණකට සිත පැමිණියේ නම් ඒ සිත පැමිණියා වූ දේවල් පමණක් අපට දැනෙන්නේ ය. සිත නො පැමිණි දේවල් නො දැනෙන්නේ ය. සිත ඉබේට ම පැමිණෙන්නේ චක්ෂුරාදි ඉන්ද්‍රියයන් හා ගැටීමට පැමිණියා වූ රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් කරා පමණෙකි. ඉතිරි සියලු ම අරමුණු කරා සිත උත්සාහයෙන් පමුණුවා ගත යුතු ය. නො පැමිණියා වූ අරමුණු කරා සිත පැමිණවීමට හෙවත් නො දත් දෙය දෙසට සිත යොමු කිරීමට - යැවීමට කල්පනා කිරීම යයි කියනු ලැබේ. නො පැමිණියා වූ අරමුණු කරා සිත යොමු කරනුයේ සිත හා උපදනා එක්තරා චෛතසික ධර්මයකින් ය. එයට විතර්ක චෛතසික ය යි ද ‘සංකප්ප’ ය යි ද කියනු ලැබේ. මේ චෛතසික ධර්මයට බොහෝ සෙයින් කියනු ලබන්නේ කල්පනා කිරීම ය කියා ය.

කල්පනාවන් අතර ද තමා හට හා ලෝකයා හට ද අහිත පිණිස අනර්ථය පිණිස පවත්නා වූ කල්පනාවෝ ද ඇත්තාහු ය. යහපත පිණිස පවත්නා වූ කල්පනාවෝ ද ඇත්තාහු ය. එයින් අයහපත පිණිස පවත්නා වූ කල්පනාවන්ට මිථ්‍යා කල්පනාය යි ද යහපත පිණිස පවත්නා කල්පනාවන්ට සම්‍යක් කල්පනාය යි ද කියනු ලැබේ. මෙයින් සම්‍යක් සංකල්පය යි කියනු ලබනුයේ ඒ යහපත් කල්පනාවන්ට ය. යහපත් කල්පනාවෝ බොහෝ වන්නාහ. එයින් මේ මාර්ග සත්‍යයෙහි ගනු ලබන්නේ තුනෙකි. එබැවින් මෙහි අදහස් කරන සම්‍යක් සංකල්පය දක්වනු පිණිස-

“තත්ථ කතමො සම්මාසංකප්පො? නෙක්ඛම්ම සංකප්පො, අව්‍යාපාද සංකප්පො, අවිහිංසා සංකප්පො, අයං වුච්චති සම්මාසංකප්පො.”

යනු වදාරන ලදි. නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යන මේ තුන මෙහි අදහස් කරන සම්‍යග් සංකල්පය බව මෙයින් දක්වන ලදි.

නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය

යමකින් නික්මීමට-පිටවීමට-මිදීමට-අස්වීමට නෛෂ්ක්‍ර‍ම්‍ය ය යි කියනු ලැබේ. සත්ත්වයෝ වනාහි ඉෂ්ට රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍ර‍ෂ්ටව්‍ය සංඛ්‍යාත පඤ්ච කාමයෙහි ඇලී සිටින්නෝ ය, ගැලී සිටින්නෝ ය, බැඳී සිටින්නෝ ය. පඤ්චකාමයෙහි බැඳී සිටින්නා වූ සත්ත්වයන්ගේ පඤ්චකාමයෙන් මිදී ඉන් බැහැරට යාමට, පඤ්චකාම සංඛ්‍යාත සිරගෙයින් පිට වී යාමට මෙහි නෛෂ්ක්‍ර‍ම්‍ය ය යි කියනු ලැබේ. යම් කල්පනාවකින් සත්ත්වයෝ පඤ්චකාමය හැර ඉන් බැහැරට යෙත් ද හෙවත් පඤ්චකාමයෙහි බැඳී තිබෙන්නා වූ සත්ත්වයාගේ සිත ඉන් බැහැරට යේ ද, ඒ කල්පනාවට මෙහි නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය යි කියනු ලැබේ. පඤ්චකාමයට සිත පමුණුවන්නා වූ තෘෂ්ණා සහගත කල්පනාව කාම සංකල්ප නමි. නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය කාම සංකල්පයට විරුද්ධ ධර්මයකි. එය කාම සංකල්පයාගේ උත්පත්ති හේතුව නසමින් උපදනේ ය.

මෙය පූර්ව භාගයෙහි පෙහෙවස් විසීම ය, පැවිදි වීම ය, ධූතාංග පිරීම ය, සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම ය යන මේවායින් ලෞකික චිත්තයෙහි උපදවා ගත යුතු ය. පොහොය සිල් සමාදන් වීම ද එක්තරා ප්‍ර‍මාණයකින් කාමයන් හැර දැමීමකි. එබැවින් එය ද නෛෂ්ක්‍ර‍ම්‍යයකි. පැවිදිවීම ධූතාංග රක්ෂා කිරීම හා භාවනාවෙහි යෙදීම ද බොහෝ කාමයන්ගෙන් නික්මීමකි. මේ සඳහා කාම විතර්කයාගේ දොස් මෙනෙහි කිරීම ද මැනවි. මෙසේ කරගෙන යන්නා වූ තැනැත්තා තුළ තදංග වශයෙන් කාම විතර්කයන් ප්‍ර‍හාණය කරන්නා වූ ලෞකික නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය උපදී. විදර්ශනා වැඩීමෙන් මෙය දියුණු තියුණු වීමෙන් මාර්ග චිත්තය පහළ වන්නේ ය. ඒ සමයෙහි මෙය ලෝකෝත්තර බවට පැමිණ මතු නූපදනාකාරයෙන් කාම විතර්කයාගේ උත්පත්ති හේතු නසමින් මාර්ග චිත්තය සමග උපදනේ ය.

අව්‍යාපාද සංකල්පය

මනුෂ්‍ය තිරශ්චීනාදි අන්‍ය සත්ත්වයන් හට යහපතක් සැපතක් වනු කැමති බව වූ ද, සැපයක් සලසනු කැමති බව වූ ද, මෛත්‍රිය හා යුක්ත වූ කල්පනාව අව්‍යාපාද සංකල්ප නමි. මෙය අනුනට නපුරක් වනු කැමති බව වූ ද, නපුරක් කරන බව වූ ද ද්වේෂයෙන් යුක්ත කල්පනාව වූ ව්‍යාපාද සංකල්පයට විරුද්ධ වූ ධර්මයකි. ව්‍යාපාද විතර්කයාගේ ආදීනව සැලකීමෙන් ද මෛත්‍රිය වැඩීමෙන් ද අව්‍යාපාද සංකල්පය, මාර්ගයට පූර්වයෙහි ලෞකික වශයෙන් ඇති කරමින් දියුණු කළ යුතු ය. දියුණු වූ කල්හි මාර්ග චිත්තය සමග ලෝකෝත්තර භාවයට පැමිණ ඉපිද ව්‍යාපාද විතර්කයාගේ උත්පත්ති හේතූන් සමුච්ඡේද වශයෙන් නසන්නේ ය.

අවිහිංසා සංකල්පය

දුඃඛිත සත්ත්වයන් දුකින් මුදවනු කැමති බව වූ කරුණාව හා යුක්ත වූ කල්පනාව අවිහිංසා සංකල්ප නමි. මෙය අන්‍ය සත්ත්ව පුද්ගලයන්ට හිංසා කරන ස්වභාවය වූ ද්වේෂය හා යුක්ත වූ විහිංසා විතර්කයට ප්‍ර‍තිවිරුද්ධ වූවකි. මෙය උපදනා කල්හි තදංග වශයෙන් හෝ සමුච්ඡේද වශයෙන් හෝ විහිංසා විතර්කයාගේ හේතුව නසමින් උපදනේ ය. මෙය දුඃඛිතයනට උපකාර කිරීම ය, කරුණා භාවනාවෙහි යෙදීම ය, විහිංසාවෙහි ආදීනව සැලකීම ය යනාදියෙන් සන්තානයෙහි නැවත නැවත උපදවා දියුණු කොට ලෝකෝත්තරත්වයට පමුණුවා ගත යුතු ය.

නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යන මේ තුන ලෞකික අවස්ථාවෙහි වෙන් වෙන් වූ සිත් සමඟ, වෙන් වෙන් වූ කෘත්‍ය තුනක් සිදු කරමින් වෙන් වෙන් වූ අවස්ථාවල ධර්ම තුනක් වශයෙන් උපදින නමුත් මාර්ගක්ෂණයෙහි ලෝකෝත්තර භාවයට පැමිණ උපදිනුයේ සම්‍යක් සංකල්පය නමැති එක ම ධර්මයක් වීමෙනි. එයින් නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පාදි සංකල්ප තුනෙන් ම සිදුවන්නා වූ කෘත්‍යයෝ සිදු වන්නාහ. එබැවින් මාර්ග චිත්ත සම්ප්‍ර‍යුක්ත වූ එකක් ම වූ සම්‍යක් සංකල්පය ධර්ම තුනක් සේ වර්ණනා කරනු ලැබේ.

සම්‍යග් වචනය

ලෝකයෙහි අර්ථ ධර්ම ප්‍ර‍තිසංයුක්ත වූ නිරවද්‍ය වචනයට සම්‍යග් වචනය යි ද, සම්මාවාචා ය යි ද කියනු ලැබේ. මාර්ග සත්‍යයට අයත් වූ සම්‍යක් වචනය වනාහි එය නො වේ. මාර්ග සත්‍යයට ගනු ලබන සම්‍යක් වචනය-

“තත්ථ කතමා සම්මා වාචා? මුසාවාදා වෙරමණී, පිසුණා වාචා වෙරමණී, ඵරුස වාචා වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී අයං වුච්චති සම්මා වාචා” යි විභංග පාළියෙහි වදාරා තිබේ. “එහි සම්මා වාචා නම් කවරීද යත්? මුසාවාදයෙන් වැළකීම ය, පිසුණාවාචයෙන් වැළකීම ය, ඵරුසාවාචයෙන් වැළකීම ය, සම්ඵප්‍ර‍ලාපයෙන් වැළකීම ය යන මෙය සම්මා වාචා නම් වේ ය යනු එහි තේරුම යි.

“මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදීන් සිකපද සමාදන් වන්නා වූ ද, සිකපද සමාදානයක් නො කොට “මෘෂාවාදාදියෙන් වළකිමි” යි ඉටන්නා වූ ද මුසාවාදාදි වූ නො මනා වචන කියයුතු අවස්ථා පැමිණි කල්හි ඒවා කීමෙන් වැළකී යහපත් වචන කියන්නා වූ ද, තැනැත්තා ගේ ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් උපන්නා වූ සිත්වල මෘෂාවාදාදියෙන් වලක්නා වූ එක්තරා ශක්ති විශේෂයක් ඇත්තේ ය. එය දෙපණස් චෛතසික ධර්මයන්ට අයත් වූ සම්මා වාචා නම් වූ චෛතසිකය යි. ඒ චෛතසික ධර්මය බොරු කීමෙන් වළක්නා ආකාරයෙන් ද, කේලාම් කීමෙන් වළක්නා ආකාරයෙන් ද, ඵරුෂ වචන කීමෙන් වළක්නා ආකාරයෙන් ද, සම්ඵප්‍ර‍ලාපයෙන් වළක්නා ආකාරයෙන් ද පවත්නේ ය. මුසාවාදයෙන් වැළකීම් ආදි කරුණු සතර සම්මාවාචා ය යි දක්වන ලද්දේ එහෙයිනි.

සසර දුකින් මිදෙනු කැමති සත්පුරුෂයන් විසින් බොරු ආදිය කීමෙහි ආදීනව මෙනෙහි කිරීමෙන් ද මහා සුතසෝම රාජ චරිතය, සානු සාමණේර චරිතාදිය මෙනෙහි කිරීමෙන් ද, සත්‍යයෙහි අගය සැලකීමෙන් ද, බොරු කීමෙන් වැළකී සත්‍යය කීමෙන් ද, කේලාම් නමැති ඔවුනොවුන් බිඳුවන වචන නො කියා එයින් වැළකී අන්‍යයන්ගේ සමගිය දියුණු වන වචන කීමෙන් ද, පරුෂ වචන නම් වූ අනුන්ගේ සිත් රිදවන නපුරු වචන නො කියා, තමහට එබඳු වචනයෙන් අන්‍යයන් බණින කල්හි පවා මෘදු යහපත් වචන කීමෙන් ද, සම්ඵප්‍ර‍ලාප නම් වූ තමාගේ හා අන්‍යයන්ගේ ද දෙලොව වැඩ නසන නිෂ්ඵල වචන කීමෙන් වැළකී සෑම කල්හි ම අර්ථ ධර්ම ප්‍ර‍තිසංයුක්ත වූ යහපත් වචන ම කීමෙන් ද සම්මා වාචාව පුරුදු පුහුණු කළ යුතු ය. වැඩිය යුතු ය.

මෙසේ සම්‍යග් වචනය නමැති මාර්ගාංගය පුරුදු පුහුණු කරන්නවුන්ගේ සිත් සතන්හි මෘෂාවාදාදියෙන් වළකින අවස්ථාවන්හි උපදනා වූ සම්මා වාචාව වනාහි ලෞකික ය. එය මෘෂාවාදාදියට කරුණු වන පුද්ගලයන් හා වස්තූන් අරමුණු කොට පවත්නේය. මෘෂාවාදයෙන් වැළකීම් වශයෙන් සත්‍යය කියන කල්හි එය මෘෂාවාදය ප්‍ර‍හාණය කිරීම් වශයෙන් පවත්නේය. කේළාම් කීමෙන් වැළකීම් වශයෙන් යහපත් වචන කියන කල්හි පිසුණාවාචය ප්‍ර‍හාණය කිරීම් වශයෙන් පවත්නේය. පරුෂ වචනයෙන් හා සම්ඵප්‍ර‍ලාපයෙන් වැළකීම් වශයෙන් යහපත් වචන කියන කල්හි ඵරුෂාවාචය හා සම්ඵප්‍ර‍ලාපය ප්‍ර‍හාණය කිරීම් වශයෙන් පවත්නේය.

සම්‍යග් වචනය පුරුදු පුහුණු කරමින් දුශ්චරිතයෙන් වැළකී සිටින්නා වූ තැනැත්තා හට යම් කලෙක විදර්ශනා වැඩීමෙන් මාර්ග චිත්තය උපදී ද, එ කල්හි ලෞකික වශයෙන් පුරුදු පුහුණු කළ සම්මා වාචාව මාර්ගයාගේ එක් අවයවයක් ව ලෝකෝත්තරත්වයෙන් පහළ වන්නේය. ලෝකෝත්තර වූ ඒ සම්මා වාචාව ලෞකික චිත්තයන්හි වූ සම්මාවාචාව මෙන් මෘෂාවාදාදියට කරුණු වන වස්තු හා පුද්ගලයන් නොව නිර්වාණය අරමුණු කොට පවත්නේය. එයින් එක් එක් වාග් දුශ්චරිතයක් බැගින් නොව වාග් දුශ්චරිත සතර ම සමුච්ඡේද ප්‍ර‍හාණයෙන් එකවර ම ප්‍ර‍හාණය කරනු ලබන්නේ ය.

සම්‍යක් කර්මාන්තය

ආත්මාර්ථ සාධක වූ ද, පරාර්ථ සාධක වූ ද, උභයාර්ථ සාධක වූ ද, නිරවද්‍ය කායික ක්‍රියාවන්ට ලෝකයෙහි සම්‍යක් කර්මාන්තය යි කියනු ලැබේ. මේ මාර්ග සත්‍යයෙහි “සම්මා කම්මන්ත” යනුවෙන් දක්වන සම්‍යක් කර්මාන්තය වනාහි අනිකකි. එය :-

“තත්ථ කතමො සම්මා කම්මන්තො? පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, අයං වුච්චති සම්මා කම්මන්තො” ය-

විභංග පාළියෙහි වදාරා තිබේ. “එහි සම්මා කම්මන්තය නම් කවරේද? ප්‍රාණඝාතයෙන් වෙන්වීම ය, අදත්තාදානයෙන් වෙන් වීම ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වීම ය යන මෙය සම්මා කම්මන්ත නම් වේ” ය යනු එහි තේරුම යි.

ප්‍රාණඝාතාදි පාපයන්ගෙන් වළක්නා අදහසින් “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදීන් සිකපද සමාදන් වන්නා වූ ද, ප්‍රාණඝාතාදිය නො කිරීමට ඉටන්නා වූ ද, ප්‍රාණඝාතාදිය කිරීමට අවස්ථාව පැමිණි කල්හි ආදීනව සලකා ඒවා අත්හරින්නා වූ ද තැනැත්තන්ගේ සිත්හි එසේ කරන්නා වූ අවස්ථාවන්හි ප්‍රාණඝාතාදියෙන් වළකින්නා වූ ප්‍රාණඝාතාදිය දුරු කරන්නා වූ ප්‍රාණඝාතාදියට විරුද්ධ වූ එක්තරා ශක්ති විශේෂයක් හට ගන්නේ ය. මේ මාර්ග සත්‍යයෙහි සම්‍යක් කර්මාන්ත යයි කියනු ලබන්නේ ඒ ශක්ති විශේෂයට ය. එය දෙපනස් චෛතසිකයන් අතුරෙන් සම්මා කම්මන්ත නම් වූ චෛතසිකය යි.

එය ප්‍රාණඝාතාදි අකුශල කාය කර්ම තුනෙන් වළක්නා ආකාරයෙන් පවත්නා බැවින් බුදුරජාණන් වහන්සේ විසින් “පාණාතිපාතා වේරමණී” යනාදීන් ප්‍රාණඝාතාදියෙන් වැළකීම ය, අදත්තාදානයෙන් වැළකීම ය, පරදාරසේවනයෙන් වැළකීම ය යන මේ තුන සම්‍යක් කර්මාන්තය යි වදාරන ලදි. එය ප්‍රාණඝාතාදීන්ගේ ආදීනව සලකා ඒවායින් වැළකීමෙන් පුරුදු කළ යුතු ය. එසේ පුරුදු කළ තැනැත්තාට ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වන අවස්ථාවෙහි දී ලෝකෝත්තරත්වයට පැමිණ මාර්ගයාගේ අංගයක් ව පහළ වන්නේ ය. එයින් කායික දුශ්චරිත තුන සමුච්ඡේද ප්‍ර‍හාණයෙන් ඒකක්ෂණයෙහි ම ප්‍ර‍හාණය කරනු ලැබේ.

සම්‍යගාජීවය

“තත්ථ කතමො සම්මා ආජීවො? ඉධ අරිය සාවකො මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවෙන ජීවිකං කප්පෙති, අයං වුච්චති සම්මා ආජීවො.”

“මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්‍යගාජීවය නම් කවරේද යත්? මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මිථ්‍යා ආජීවය අත්හැර සම්‍යගාජීවයෙන් ජීවත් වේ ද, මෙය සම්‍යගාජීවය යි කියනු ලැබේ” ය යනු එහි තේරුමයි.

ප්‍රාණඝාතාදි කාය වාක් දුශ්චරිතයෝ වනාහි ඇතමකු විසින් විනෝදය පිණිස කරනු ලැබෙත්. ඇතමකු විසින් ක්‍රෝධ ඊර්‍ෂ්‍යාදිය නිසා කරනු ලැබෙත්. ඇතමකු විසින් දිවි පැවැත්ම සඳහා කරනු ලැබෙත්. මෙසේ නොයෙක් හේතූන් නිසා කරන්නා වූ දුශ්චරිතයන් අතුරෙන් දිවි පවත්වා ගැනීම වූ හේතුවෙන් අන්‍ය හේතූන් නිසා කරන්නා වූ ප්‍රාණඝාතාදි කාය දුශ්චරිතයන්ගෙන් වෙන් වන්නා වූ ස්වභාවය, ඒ දුශ්චරිතයන් අත්හරින්නා වූ ස්වභාවය, යට කී සම්‍යක් කර්මාන්ත නම් වූ මාර්ගාංගය යි. දිවි පවත්වා ගැනීම වූ හේතුවෙන් අන්‍ය හේතූන් උදෙසා කරන්නා වූ මෘෂාවාදාදි වාග් දුශ්චරිතයන්ගෙන් වෙන් වන්නා වූ ස්වභාවය, ඒවා අත්හරින්නා වූ ස්වභාවය යට දැක් වූ සම්‍යක් වචනය නම් වූ මාර්ගාංගයයි. දිවි පැවැත්මට ආධාර කර ගනු පිණිස කරන්නා වූ කාය වාග් දුශ්චරිතයන්ගෙන් වෙන් වන්නා වූ ස්වභාවය ඒවා අත් හරින්නා වූ ස්වභාවය සම්‍යගාජීවය නම් වූ මාර්ගාංගයයි.

නිවන් පසක් කරනු පිණිස පූර්වභාගයෙහි ම ආජීව පාරිශුද්ධිය ද වුවමනා ය. ආජීව පාරිශුද්ධිය ඇති කරගනු සඳහා ගිහියන් විසින් දිවි පැවැත්ම සඳහා කරන ප්‍රාණඝාතාදි කාය වාග් දුශ්චරිතයන් හා ගිහියන් විසින් නො කළ යුතු ය යි දක්වා තිබෙන ආයුධ වෙළඳාමය, වහල් වෙළඳාමය, මස් වෙළඳාමය, මත්පැන් වෙළඳාමය, විෂ වෙළඳාමය යන අධාර්මික වෙළඳාම් පසින් ද වැළකී ගොවිකම් වෙළඳාම් ආදි ධාර්මික දෙයකින් දිවි පැවැත්ම කළ යුතුය. ගොවිකම් වෙළඳාම් ආදියෙන් ජීවත්වන කල්හි ගෘහස්ථ ජීවිතය ධාර්මික වුව ද ප්‍ර‍ව්‍ර‍ජිත ජීවිතය ධාර්මික නො වේ. එබැවින් ආජීව පාරිශුද්ධිය පිණිස පැවිද්දන් ගොවිකම් වෙළඳාම් ආදිය ද හැර විනයෙහි නියමිත පරිදි ජීවත් විය යුතු ය. මාර්ගයට පැමිණීමට ප්‍ර‍ථමයෙන් ආජීව පාරිශුද්ධිය සඳහා ප්‍රාණඝාතාදි ආජීවය කරන්නා වූ කරුණු දුරු කරන්නා වූ තැනැත්තන්ට ඒ ඒ අවස්ථාවල දී මේ සම්‍යගාජීවය ලෞකික වශයෙන් ඇති වේ. ආජීව පාරිශුද්ධියෙහි පිහිටා විදර්ශනා වඩන්නා වූ යෝගාවචරයා හට මාර්ග චිත්තය උපදනා කල්හි මෙය ලෝකෝත්තර මාර්ගයා ගේ අංගයක් වන්නේ ය.

සම්‍යග් ව්‍යායාමය

“තත්ථ කතමො සම්මා වායාමො? ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති, වායමති, විරිය ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති, වායමති, වීරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති. වායමති, වීරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීය්‍යෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති අයං වුච්චති සම්මා වායාමො”

“එහි සම්‍යග් ව්‍යායාමය නම් කවරේද? මේ ශාසනයෙහි මහණ තෙම එම ජාතියෙහි දී තමා අතින් නො කෙරුණා වූ ලාමක වූ අකුශල ධර්මයන් තමා අතින් නො කෙරෙනු පිණිස ඕනෑකම ඇති කර ගනී ද, උත්සාහ කෙරේ ද? සිත කය දෙකින් වීර්ය කෙරේද? සිත ඔසවා තබා ද, මහත් කොට වීර්ය කෙරේ ද? තමා අතින් කැරුණා වූ ලාමක වූ අකුශල ධර්මයන් දුරු කරනු පිණිස ඕනෑකම ඇති කර ගනී ද, උත්සාහ කෙරේ ද, සිත කය දෙකින් ම වීර්ය කෙරේ ද, සිත ඔසවා තබා ද, මහත් කොට වීර්ය කෙරේ ද: තමා විසින් නො කළා වූ කුශල ධර්මයන් උපදනු පිණිස ඕනෑකම ඇතිකර ගනී ද, උත්සාහ කෙරේ ද, සිත කය දෙකින් ම වීර්ය කෙරේ ද, සිත ඔසවා තබා ද, මහත් කොට වීර්ය කෙරේ ද: උපන් කුශල ධර්මයන් පවත්නා පිණිස නො නස්නා පිණිස වැඩිවනු පිණිස වැඩෙනු පිණිස බෝවනු පිණිස පිරෙනු පිණිස ඕනෑකම ඇති කෙරේ ද, උත්සාහ කෙරේ ද, සිත කය දෙකින් වීර්ය කෙරේ ද සිත ඔසවා තබා ද මහත් කොට වීර්ය කෙරේ ද මෙය සම්‍යග් ව්‍යායාමය යි කියනු ලැබේ ය” යනු එහි තේරුම යි.

එම ජාතියෙහි ස්වසන්තානයෙහි නූපන්නා වූ හෙවත් තම අතින් සිදු නො වූ අකුශලයන් සිදු නො වීම පිණිස කරන්නා වූ වීර්‍ය්‍යය, ස්වසන්තානයෙහි උපන්නා වූ අකුශලයන් නැති කරනු පිණිස කරන්නා වූ වීර්‍ය්‍යය, තමා විසින් පෙර නො කළා වූ කුශල් උපදවා ගනු පිණිස කරන්නා වූ වීර්‍ය්‍යය, කළ කුසල් දියුණු කරනු සඳහා කරන්නා වූ වීර්‍ය්‍යය යන මේ වීර්‍ය්‍ය සතර “සම්‍යග් ව්‍යායාමය” යන මාර්ගාංගය බව මෙයින් ප්‍ර‍කාශිත ය.

සිත කය වචනය යන ද්වාරත්‍ර‍ය ආරක්ෂා කර නො ගෙන ප්‍ර‍මාදව වාසය කරන්නා වූ පෘථග්ජන සත්ත්වයාගේ සන්තානයෙහි නූපදිය හැකි අකුශලයක් නැත්තේ ය.

ඒ තාක් තමා විසින් නො කළා වූ අනාගතයෙහි සිදු වන්නට ඉඩ තිබෙන්නා වූ අකුශල ධර්ම සමූහයට ස්වසන්තානයෙහි උපදින්නට අවකාශ නො තබන අටියෙන් ශීල පරිපූර්ණයෙහි හා ශමත විදර්ශනා භාවනාවන්හි ද යෙදෙන්නට වූ සත් පුරුෂයා නූපන් අකුශල් සිදු නොවීම පිණිස, දුරු කිරීම පිණිස, වීර්ය කිරීමය යි කියන ලද ප්‍ර‍ථම සම්‍යග් ව්‍යායාමය වඩන්නේ ය.

වර්තමාන භවයෙහි ස්වසන්තානයෙහි යම් අකුශලයක් උපන්නේ ද හෙවත් තමා අතින් යම් අකුශලයක් කැරුණේ ද තමාගේ සන්තානයෙහි එබඳු අකුශල් මතු සිදු වීමට ඉඩ නො තබමිය යන අදහසින් සිල් පිරිසිදු කිරීමෙහි හා භාවනාවෙහි යෙදෙන තැනැත්තේ උපන් අකුශල් දුරු කිරීමට වීර්ය කිරීමය යි කියනු ලබන දෙවෙනි සම්‍යග් ව්‍යායාමය වඩන්නේ ය.

අකුසල් සිත් අනායාසයෙන් ඇති වන මුත් කුශල චේතනා එසේ ඉබේ ඇති වන්නේ නොවේ. ඒවා ආයාසයෙන් කුශලයන්හි යෙදීමෙන් ඇති කර ගත යුතුය. අකුසලයන්ට මතුවන්නට ඉඩ නො තබා දාන ශීලාදියෙහි හා සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙන් නූපන් කුසල් ඇති කර ගැනීමට වීර්‍ය්‍ය කිරීමය යි කියන ලද තුන්වන සම්‍යක් ව්‍යායාමය වඩන්නේ ය.

පෘථග්ජන පුද්ගලයාගේ පඤ්චශීල ආජිවාෂ්ටමක ශීලාදි ශීලයෝ බිදෙන සුළුය හ. සමහර විට අද සිල්වතෙක් ව සිටින්නා වූ පෘථග්ජන පුද්ගලයා හෙට දුශ්ශීලයෙක් වන්නේ ය. ඔහුගේ සමාධි ප්‍ර‍ඥාවෝ ද නැසෙන සුළුය හ. යම් කිසිවෙක් තමාගේ සන්තානයෙහි ඇති කරගෙන තිබෙන ශීලාදි ධර්මයන්, මාර්ගයට ඵලයට පැමිණ නිවනට පැමිණීම දක්වා නො නස්නා ස්වභාවයට පමුණුවු ගනු පිණිස මාර්ග භාවනා කරන්නේ වේ නම් හෙතෙමේ උපදවා ගත් කුශලයන් දියුණු කිරීමට වීර්ය කිරීම ය” යි කියන ලද සතරවන සම්‍යග් ව්‍යායාමය වඩන්නේ ය.

මෙසේ සම්‍යග් ව්‍යායාමය වඩන්නවුන් තුළ ඒ ඒ අවස්ථාවන්හි උපදනා වූ සම්‍යග්ව්‍යායාමය ලෞකික ය. මාර්ග භාවනාව කරන්නා වූ තැනැත්තන් තුළ පූර්ව භාගයෙහි මෙසේ නොයෙක් අවස්ථාවල දී ඒ ඒ කෘත්‍යයන් සිදු කරමින් උපදනා සම්‍යග්ව්‍යායාමය මාර්ග චිත්තය පහළ වන කල්හි කියන ලද කෘත්‍යයන් සතර ම එකවර සිදු කරමින් ලොකෝත්තරත්වයෙන් උපදනේ ය.

සම්‍යක් ස්මෘතිය

“තත්ථ කතමා සම්මා සති? ඉධ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, අයං වුච්චති සම්මා සති”

“එහි සම්‍යග් ස්මෘතිය කවරී ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ සම්‍යක් ප්‍ර‍ඥාවෙන් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ මේ මහා භූත කයෙහි කය අනුව අනිත්‍යාදි වශයෙන් බලමින් වෙසේ ද? පඤ්චෝපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි ඇලෙන්නා වූ ලෝභය හා දෞර්මනස්‍යය දුරු කෙරේ ද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ සම්‍යග් ප්‍ර‍ඥාවෙන් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ ත්‍රිවිධ වේදනාවන්හි වේදනාව අනුව අනිත්‍යාදි වශයෙන් බලා ද උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි ඇල්ම හා දෞර්මනස්‍යය දුරු කෙරේ ද කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ මනා නුවණින් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ සරාගාදි චිත්තයෙහි සිතට අනුව අනිත්‍යාදි වශයෙන් බලා ද උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි ඇල්ම හා දෞර්මනස්‍ය දුරු කෙරේ ද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ මනා නුවණින් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ නීවරණාදි ධර්ම විෂයෙහි ඒ ධර්මයන්ට අනුව අනිත්‍යාදි වශයෙන් බලා ද උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි ඇල්ම හා දෞර්මනස්‍යය දුරු කෙරේ ද මෙය සම්‍යක් ස්මෘතිය යි කියනු ලැබේ.” ය යනු මෙහි තේරුම යි.

නිවන් පසක් කරනු පිණිස භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයාගේ සිත භාවනාවට අරමුණු වන කාය, වේදනා, චිත්ත, ධර්ම යන මේවායින් බැහැරට පැන යන්නට නො දී ඒවායේ ම නැවත නැවත පවත්වන්නා වූ බැඳ තබන්නා වූ යහපත් සිහිය මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්‍යග් ස්මෘතිය බව මේ දේශනාවෙන් දක්වන ලදි. ස්වකීය සිතට අරමුණෙන් අරමුණට පැන යන්නට නොදී තමා කැමති අරමුණක බොහෝ වේලාවක් රඳවා ගත හැකි වන පරිදි සිත සකස් කරගෙන නැත්තා වූ පුද්ගලයාගේ සිත වනාහි වහ වහා අරමුණෙන් අරමුණට යන වික්ෂිප්ත සිතකි. එබඳු සිතින් මාර්ගයකට ඵලයකට පැමිණෙන්නට නුපුළුවන. එබැවින් නිවනට පැමිණෙනු කැමති තැනැත්තා විසින් කාය කොට්ඨාසාදි යම් කිසි අරමුණක් ගෙන එහි ම සිත පිහිටවා භාවනාවෙහි නැවත නැවත යෙදීමෙන් එක අරමුණක බොහෝ වේලා තැබිය හැකි වන සේ සිත සකස් කිරීමේ දී ඒ සිත සමග උපදනා වූ සිහිය ලෞකික සම්‍යක් ස්මෘතිය යි. එය ම එසේ භාවනාවෙහි යෙදෙන්නා වූ තැනැත්තා හට මාර්ග චිත්තය උපදනා කල්හි මාර්ගාංගයක්ව ලෝකෝත්තරත්වයෙන් ද පහළ වන්නේ ය.

සම්‍යක් සමාධිය

“තත්ථ කතමා සම්මා සමාධි? ඉධ භික්ඛු විචිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පිතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති, විතක්ක විචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති, පීතියාච විරාගා උපෙක්ඛකොව විහරති සතොව සම්පජානො. සුඛංච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරිති තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා පුබ්බේච සොමනස්ස දොමනස්සානං අත්තංගමා අදුක්ඛමසුඛං උපෙක්ඛා සති පාරිසුද්ධිං චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති, අයං වුච්චති සම්මා සමාධි.”

මෙයින් ප්‍ර‍ථමධ්‍යාන සමාධිය, ද්විතීයධ්‍යාන සමාධිය, තෘතීයධ්‍යාන සමාධිය, චතුර්ථධ්‍යාන සමාධිය යන සමාධි සතර සම්‍යක් සමාධිය යි ප්‍ර‍කාශිත ය. වික්ෂිප්ත නො වන පරිද්දෙන් නො සැලෙන පරිද්දෙන් සිත මනා කොට ස්ථිර වශයෙන් ආරම්මණයෙහි පිහිටවමින් සිත හා බැඳී පවත්නා වූ එක්තරා ස්වභාව ධර්මයකට සමාධිය යි කියනු ලැබේ.

දශ කසිණය, දශ අශුභය, කේශාදි ශාරීරික කොට්ඨාසයෝය, ආශ්වාස ප්‍ර‍ශ්වාසය, මෛත්‍රි කරුණා මුදිතා යන බ්‍ර‍හ්ම විහාරයන්ට අරමුණු වන සත්ත්වයෝ ය යන මේ පස් විසි කමටහන් අරමුණු අතුරෙන් යම්කිසි අරමුණක් ගෙන භාවනාවෙහි යෙදීමෙන් පළමු කොට උපදවා ගත හැකි රූපාවචර සමාධිය ප්‍ර‍ථමධ්‍යාන සමාධි නමි. සමථ විදර්ශනා භාවනාවන්හි යෙදෙන්නවුන්ගේ පූර්ව භාග කාමාවචර සමාධිය ද මේ ප්‍ර‍ථමධ්‍යාන සමාධියට ම ඇතුළත් වන්නේ ය.

කසින දශය, ආශ්වාස ප්‍ර‍ශ්වාසය, මෛත්‍රි කරුණා මුදිතා යන බ්‍ර‍හ්ම විහාරයන්ට අරමුණු වන සත්ත්ව ප්‍ර‍ඥප්තීහු යන මේ තුදුස් අරමුණු අතුරෙන් යම් කිසි අරමුණක භාවනාවෙහි යෙදීමෙන් දෙවෙනි වර ලබන්නා වූ රූපාවචර ධ්‍යාන සමාධිය ද්විතීය ධ්‍යාන සමාධි නමි. ඒ අරමුණුවල ම භාවනාවෙහි යෙදීමෙන් තුන්වන වර ලබන්නා වූ රූපාවචර ධ්‍යාන සමාධිය තෘතීයධ්‍යාන සමාධි නමි.

කසින දශය, ආශ්වාස ප්‍ර‍ශ්වාසය, උපේක්ෂා බ්‍ර‍හ්ම විහාරයට අරමුණු වන සත්ත්ව ප්‍ර‍ඥප්තිය යන මේ අරමුණු දොළස අතුරෙන් යම්කිසි අරමුණක් ගෙන භාවනාවෙහි යෙදී සතරවනුව ලබන්නා වූ රූපාවචර සමාධිය චතුර්ධ්‍යාන සමාධි නමි.

මේ සමාධීහු ලෞකිකයෝ ය. මාර්ග භාවනාව කර ගෙන යන්නා වූ තැනැත්තා හට යම් කලෙක ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වන්නේ ද එකල්හි පූර්ව භාගයෙහි පුරුදු කරන ලද මේ ලෞකික සමාධීන් අතුරෙන් යම් කිසි එක් සමාධියක් මාර්ගයාගේ අංගයක්ව මාර්ග චිත්තය හා තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් නිර්වාණ සංඛ්‍යාත ආරම්මණයෙහි මනා කොට පිහිටුවමින් ලෝකෝත්තරත්වයෙන් පහළ වන්නේ ය. එය ලෝකෝත්තර සම්‍යක් සමාධිය වූ මාර්ගාංගය වන්නේ ය.

මාර්ගාංගයෝ අටදෙන ස්කන්ධ වශයෙන් බෙදෙන ආකාරය

මෙහි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග තුන ශීලස්කන්ධයයි. මේ අංග තුනෙන් ගැනෙනුයේ ආජීවාෂ්ටමක ශීලයයි. ආජීවාෂ්ටමක ශීලය නම් කාය දුශ්චරිත තුනෙන් ද, වාග් දුශ්චරිත සතරෙන් ද, මිථ්‍යා ජීවිකාවෙන් ද වෙන් වීමයි. සම්‍යක් කර්මාන්තය පිරීම පිණිස කාය දුශ්චරිත හළ යුතුය. සම්‍යක් වචනය පිරීම පිණිස වාග් දුශ්චරිත සතර හළ යුතුය. සම්‍යක් ආජීවය පිරීම පිණිස මිථ්‍යා ජීවිකාවෙන් වෙන්විය යුතුය. එසේ කරන කල්හි ආජීවාෂ්ටමක ශීලය සම්පූර්ණ වේ.

ආජීවාෂ්ටමක ශීලය රකිමිය කියා, කාය දුශ්චරිතයන්ගෙන් වෙන් වීමෙන් සම්‍යක් කර්මාන්ත මාර්ගාංගය පිරේ. වාග් දුශ්චරිතයන්ගෙන් වෙන් වීමෙන් සම්‍යක් වචනය නමැති මාර්ගාංගය පිරේ. මිථ්‍යා ජීවිකාවෙන් වෙන් වීමෙන් සම්‍යගාජීවය නමැති මාර්ගාංගය පිරේ. එබැවින් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන තුන ශීලස්කන්ධය යි කියනු ලැබේ. සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක්සමාධිය යන තුන සමාධි ස්කන්ධයයි. සම්මා දිට්ඨි - සම්මාසංකප්ප යන දෙ ප්‍ර‍ඥාස්කන්ධයයි. මෙසේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍ර‍ඥා ස්කන්ධය යි ස්කන්ධය යි ස්කන්ධ තුනක් වන්නේ ය.

ලෝකෝත්තර මාර්ගය ලබා ගත හැකි ආකාරය

ලෝකයෙහි මිනිසුන් විසින් කරන්නට තිබෙන වැඩ අතුරෙන් ලෝකෝත්තර මාර්ගය ස්වසන්තානයෙහි උපදවා ගැනුම ඉතා දුෂ්කර වැඩෙකි. මෙය ලෙහෙසි දෙයකැයි වරදවා ගෙන කටයුත්ත සැහැල්ලු කොට ගෙන මාර්ගභාවනාවෙහි යෙදෙන්නා හට කිසි කලෙක ලැබිය හැකි නො වේ. යම් කිසිවෙක් කොතෙක් උත්සාහ කළත් නියම ක්‍ර‍මයට නො ගොස් වරදවා පිළිපැද්දහොත් ඔහුට ද කිසි කලෙක, මාර්ගයට ඵලයට පැමිණෙන්නට නො ලැබේ. එබැවින් පිළිපැදිය යුතු ක්‍ර‍මය ද නො වරදවා දැනගෙන කළ යුතුය.

මේ මාර්ග භාවනාව කරන්නට යන තැනැත්තා විසින් පළමුකොට ම විදර්ශනා බිම සකස් කර ගත යුතුය. පඤ්චස්කන්ධය, ද්වාදශායතනය, අටළොස් ධාතුය, දෙවිසි ඉන්ද්‍රියයෝ ය, චතුරාර්‍ය්‍ය සත්‍යය, ප්‍ර‍තීත්‍යසමුත්පාදය යන මේ ධර්මයෝ විදර්ශනාවට බිම වන්නා වූ ධර්මයෝ ය. ඒ ධර්මයන් ගැන මනා දැනුමක් ඇති කර ගැනීම බිම සකස් කර ගැනීම ය. ඉක්බිති විදර්ශනා භාවනාව කළ යුතු ආකාරය ද මැනවින් ඉගෙන සිල් පිරිසිදු කර ගෙන යථාවකාශ පරිද්දෙන් හෝ අන් සියල්ල ම හැර දමා විදර්ශනා කිරීමෙහි ම යෙදීම් වශයෙන් හෝ නාම රූප ධර්මයන් අනිත්‍යාදි වශයෙන් ක්‍ර‍මානුකූලව විදර්ශනා කරන්නට පටන් ගත යුතුය.

එසේ විදර්ශනා කරන්නා වූ තැනැත්තා හට විදර්ශනා භාවනාවට අනුව සම්මා දිට්ඨිය ද වැඩෙන්නේ ය. සම්මා සංකප්පය ද වැඩෙන්නේ ය. සම්මා වාචාව ද වැඩෙන්නේ ය. සම්මා කම්මන්තය ද වැඩෙන්නේ ය. සම්මා ආජීවය ද වැඩෙන්නේ ය. සම්මා සතිය ද වැඩෙන්නේ ය. සම්මා සමාධිය ද වැඩෙන්නේ ය. මේ වැඩීමට භාවනාවෙහි යෙදීම හැර කරන්නට අන් දෙයක් නැත්තේය. ක්‍ර‍මානුකූලව භාවනාවෙහි යෙදෙන්නාගේ විදර්ශනා ඥානය දියුණු තියුණු වත් ම ක්ලේශයෝ ද තුනී වන්නාහ. විදර්ශනා ඥානය මැනවින් දියුණු වී සංස්කාරයන් කෙරෙහි කලකිරී සිත සංස්කාරක්ෂය වූ නිවනට නැමී නිවනට බර වී පවත්නා අවස්ථාවකදී, මේ සම්මා දිට්ඨි ආදි අංග අට වැඩී බලවත් වී ලෝකෝත්තරත්වයට පැමිණ දෘෂ්ටි විචිකිත්සා සංඛ්‍යාත ක්ලේශද්වය මතු නූපදනා ආකාරයෙන් නසමින් අපාය දුඃඛය හා ජාති සතකින් මත්තට ලබන්නට වන සංසාර දුඃඛය නසමින් නිර්වාණය අරමුණු කරමින් පහළ වන්නේ ය.

ප්‍ර‍ථමයෙන් පහළ වන්නා වූ ඒ ලෝකෝත්තර මාර්ගයට සෝවාන් මාර්ගයයි කියනු ලැබේ. සෝවාන් මාර්ගයට පැමිණි පසු ඒ පුද්ගලයා ලාමක වූ පෘථග්ජන භූමියෙන් මිදී ආර්ය පුද්ගලයෙක් වන්නේ ය. ඔහු කිසි කලෙක නැවත පෘථග්ජන භාවයට නො පැමිණෙන්නේ ය. ඔහුට මතු ලබන්නට ඉතිරිව තිබෙන සංසාර දුඃඛය ඉතා ස්වල්පය. ඔහුට ඉතිරිව තිබෙන දුඃඛයාගේ ස්වල්පත්වය හා නිරුද්ධ වූ දුඃඛයාගේ විශාලත්වය සූත්‍ර‍ ධර්මයන්හි නොයෙක් උපමාවලින් ප්‍ර‍කාශ කර තිබේ. සෝවාන් මාර්ගයට පැමිණියා වූ තැනැත්තාහට ඉතිරිව තිබෙන කෙලෙස් හා දුක් නැසීමට ඔහු විසින් නැවතත් පෙර සේම විදර්ශනා භාවනාව ම කළ යුතුය. එසේ කරන කල්හි සම්‍යග් දෘෂ්ට්‍යාදි මාර්ගාංග තව තවත් වැඩීමට පැමිණ මතු ද තුන් වාරයක් ඉතිරි ක්ලේශයන් හා දුඃඛයන් නසමින් ඒ මාර්ගාංගයෝ ලෝකෝත්තරත්වයෙන් ඔහුගේ සන්තානයෙහි පහළ වන්නාහු ය.

දෙවන වාරයෙහි එසේ පහළවන්නා වූ මාර්ගයට සකෘදාගාමි මාර්ගය යි ද තෙවන වර පහළ වන්නා වූ මාර්ගයට අනාගාමි මාර්ගය යි ද, සිව්වන වර පහළ වන්නා වූ මාර්ගයට අර්හත් මාර්ගය යි ද කියනු ලැබේ. අර්හත් මාර්ගයට පැමිණීමෙන් පසු ඉතිරිවන්නා වූ කිසි ක්ලේශයක් නැත්තේ ය. ඉන් පසු ඔහුට ඇත්තේ අතීත හේතූන් ගෙන් හට ගත්තා වූ වර්තමාන ස්කන්ධ පඤ්චකය පමණකි. පරිනිර්වාණයෙන් පසු එයින් ද ඔහු මිදී අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට පැමිණෙන්නේ ය. මේ මාර්ගය හැර නිර්වාණයට පැමිණීමට අන් කිසි ධර්මයක් අන් කිසි මාර්ගයක් කොතැනකවත් නැත්තේය. ලෝකෝත්තර මාර්ගය උපනහොත් එයින් ඒ මෝක්ෂය ලබා නොදීමක් ද කිසි කලෙක නො වන්නේය. ඒකාන්තයෙන් ලබා දෙන්නේ ය. එබැවින් ඒ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය දුකින් මිදීමේ සත්‍ය වූ නොවරදින්නා වූ උපාය වන්නේ ය. එබැවින් එයට සත්‍යවේදී වූ තථාගතයන් වහන්සේ දුඃඛ නිරෝධ ගාමිනී ප්‍ර‍තිපදා ආර්‍ය්‍ය සත්‍යය යි වදාළ සේක.

දුඃඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යයාගේ ස්වභාව සතර

“මග්ගස්ස නීය්‍යානට්ඨො හේතුට්ඨො දස්සනට්ඨො ආධිපතෙය්‍යට්ඨො” යනුවෙන් පටිසම්භිදා මග්ගයෙහි දැක්වෙන චතුරාර්ථයන්ගේ වශයෙන් හෙවත් සතර ස්වභාවයන්ගේ වශයෙන් ද දුඃඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය දත යුතුය.

1. නීය්‍යානට්ඨය 2. හේතුට්ඨය 3. දස්සනට්ඨය 4. ආධිපතෙය්‍යට්ඨය යි මාර්ග සත්‍යයාගේ ස්වභාව සතරෙකි.

1. නීය්‍යානට්ඨය

යමකුගේ සන්තානයෙහි මාර්ග සත්‍යය යි කියනු ලබන ලෝකෝත්තර මාර්ගය ඇති වූයේ නම් ඒ තැනැත්තා සසරින් එතරට පමුණුවන්නා වූ ස්වභාවය නීය්‍යානට්ඨය නම් වේ. සතර වරෙක ඇති වීම් වශයෙන් සතරක් වන්නා වූ ලෝකෝත්තර මාර්ගයන් අතුරෙන් පළමු වැන්න වූ සෝවාන් මාර්ගය යමකු කෙරෙහි ඇති වුවහොත් ඒ මාර්ගය විසින් අනේක ප්‍ර‍කාර දෘෂ්ටීන් හා අනේක ප්‍ර‍කාර විචිකිත්සාවන් සමුලඝාතනයෙන් නැසීම් වශයෙන් දෘස්ටි විචිකිත්සාවන් කෙරෙන් එතරට පමුණුවනු ලැබේ. අවශේෂ අපාය ගාමිනී ක්ලේශයන් නැසීමෙන් ඒ ක්ලේශයන්ගෙන් එතර කරවනු ලැබේ. ඒ තැනැත්තාගේ සන්තානයෙහි අතීතයෙහි ඇති වූ අනන්ත අපාය ගාමිනී කර්මයන්ගේ ශක්තිය නසා ඒවා අවිපාකදානත්වයට පැමිණවීම් වශයෙන් ද, අනාගතයෙහි අපායගාමිනී කර්මයන් නො කරන්නකු කිරීම් වශයෙන් ද, අතීතානාගත කර්මයන්නේ එතරට පමුණුවනු ලැබේ. නැවත කිසි කලෙක අපායෙහි නූපදින්නා වූ කෙනකු බවට පැමිණවීම් වශයෙන් අපාය සංසාරයන් එතරට පමුණුවනු ලැබේ. පෘථග්ජනයන් මෙන් කොණක් නැතිව නැවත නැවත උපදින ස්වභාවයෙන් මුදවා සුගති සංසාරයෙන් එතරට පමුණුවනු ලැබේ. මේ සෝවාන් මාර්ගයාගේ නීය්‍යානට්ඨය හෙවත් සෝවාන් මාර්ගයෙන් සිදු කරන්නා වූ එතර කර වීම ය.

මෙසේ සෝවාන් මාර්ගයෙන් ක්ලේශයන් කෙරෙන් හා කර්මයන් කෙරෙන් ද භවයෙන් ද එතර කරනු ලැබූ පුද්ගල තෙමේ ශ්‍රෝතාපත්ති ඵල සංඛ්‍යාත ලෝකෝත්තර භූමියට පැමිණේ. ලෝකෝත්තර භූමියයි කියනුයේ යම්කිසි ස්ථානයකට නොව ඒ තත්ත්වයට ය. බුද්ධ භූමිය ශ්‍රාවක භූමිය යනාදීන් ඒ ඒ තත්ත්වයන්ට ද භූමිය යි කියනු ලැබේ. ශ්‍රෝතාපත්ති ඵල සංඛ්‍යාත ලෝකෝත්තර ආර්‍ය්‍ය භූමියට පැමිණි පුද්ගලයාට අපාය භයින් මිදුනෙමි යි සැනසිල්ලට පැමිණ විසිය හැකිය. එය ම ඔහුට මහත් සැපයකි. හේ මතු සුගතියෙහි උපදින්නේ ද මිථ්‍යාදෘෂ්ටිකයෙක් නො වන්නේ ය. පව්කමින් ජීවත් වන්නෙක් නො වන්නේය. සංසාරයට කණුවක් වී එහි ම සිටින්නෙක් නො වන්නේ ය. සංසාර නමැති සැර පහරෙහි පාවෙන්නෙක් නොවන්නේ ය. හේ දිනෙන් දින ම අනුපාදිශේෂ නිර්වාණ ක්ෂේම භූමියට ළං වන්නේ ය. පෘථග්ජනයන් මෙන් නිර්වාණ ක්ෂේම භූමියෙන් ඈත් නොවන්නේ ය. සුගතියෙහි උපදනා වූ ද සෝවාන් පුද්ගල තෙමේ සිටියාට වඩා හීන දීනත්වයට නො පැමිණෙන්නේ ය. ක්‍ර‍මයෙන් වඩ වඩා යස ඉසුරු සැප සම්පත් ඇති තැන්වලට ම පැමිණෙන්නේ ය. ධ්‍යාන වඩා බ්‍ර‍හ්ම ලෝකයට ගියා වූ ආර්ය පුද්ගල තෙමේ නැවත කිසි කලෙක කාම ලෝකයට නො එන්නේ ය. එහි තමා සිටි තැන ම හෝ එයට උසස් භූමියක හෝ උපදනේ ය. එසේ ඉපිද ලෞකික සම්පත් විඳ ඒවා ඇති වූ කල්හි - එපා වූ කල්හි සෝවාන් පුද්ගල තෙමේ මතු මාර්ග ඵලයන් ද උපදවා පංචස්කන්ධය හැර අනුපාදිශේෂ ලෝකෝත්තර නිර්වාණයට පැමිණ දුක් කෙළවර කරන්නේ ය. මේ සෝවාන් මාර්ගයාගේ නීය්‍යානට්ඨය නිසා සෝවාන් පුද්ගලයාට ලැබෙන ආනිසංසයෝ ය. සකෘදාගාමි අනාගාමී අර්හත් යන මාර්ගයන්ගේ නීය්‍යානට්ඨය ද මේ නයින් තේරුම් ගත යුතු ය.

2. හේතුට්ඨය

නිර්වාණාධිගමනයට ඇත්තා වූ පළිබෝධ සිඳලීමෙන් නිවන් ලැබීමට හේතුවන බව හේතුට්ඨ නමි. යමකුගේ සන්තානයෙහි සෝවාන් මාර්ගය ඇති වී නම් එයින් ඔහු කෙරෙහි කිසි කලෙක නො නැසෙන පරිදි ස්ථිර ව ආර්ය ගුණයෝ පිහිටති. ඔහු කෙරෙහි ශීල ගුණයෝ ද දිනෙන් දින මසින් මස වර්ෂයෙන් වර්ෂය භවයෙන් භවය දියුණු වන්නාහ. ස්ථිර වන්නාහ. අනේක ප්‍ර‍කාර සමාධීහු ද දිනෙන් දින මසින් මස වර්ෂයෙන් වර්ෂය භවයෙන් භවය දියුණු වන්නාහ. ස්ථිර වන්නාහ. ප්‍ර‍ඥාවෝ ද දිනෙන් දින මසින් මස වර්ෂයෙන් වර්ෂය භවයෙන් භවය වැඩී ස්ථිර වන්නාහ. සතිපට්ඨානයෝ ද, සම්මප්පධානයෝ ද, ඉද්ධිපාදයෝ ද, ඉන්ද්‍රියෝ ද, බලයෝ ද, බොජ්ඣංගයෝ ද, මග්ගංගයෝ ද දිනෙන් දින මසින් මස වසින් වස ජාතියෙන් ජාතිය දියුණු තියුණු වෙමින් ස්ථිරත්වයට පැමිණෙන්නාහ. ගුණ ධර්ම වැඩෙත් වැඩෙත් ම ආර්‍ය්‍ය පුද්ගලයා හට අනුපාදිශේෂ නිර්වාණය ද ළං වන්නේ ය. සෝවාන් මාර්ගය නිවන ළං කර දෙන්නා වූ ගුණ ධර්මයන්ගේ වැඩීමට පදනමක් වීමෙන් නිවන් ලැබීමේ හේතුවක් වේ. ගුණ ධර්ම දියුණුව හා නිවනට පැමිණිය හැකි වීම සෝවාන් මාර්ගයාගේ හේතුට්ඨය නිසා සෝවාන් පුද්ගලයාට ලැබෙන ආනිසංසය ය. මතු මාර්ගයන්ගේ හේතුට්ඨය ද කියන ලද්දට අනුව සිතා ගත යුතු ය.

3. දස්සනට්ඨය

ලෝකෝත්තර මාර්ගය ප්‍ර‍ඥාව ප්‍ර‍ධාන වූවකි. එයින් යෝගාවචරයා විසින් පෙර කිසි කලෙක ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් නුදුටු විරූ නිර්වාණය නොහොත් චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දක්නේ ය. මාර්ගයාගේ ඒ නිර්වාණය හෝ චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දක්නා ස්වභාවය දස්සනට්ඨ නම් වේ. සෝවාන් මාර්ගය ලැබූ තැනැත්තා කොතෙක් කල් සසර සැරිසරමින් ලෞකික සැප වින්දේ ද, තමා විසින් ලෝකෝත්තර මාර්ගානුභාවයෙන් දක්නා ලද නිවන දක්නා ලද චතුරාර්‍ය්‍ය සත්‍යය, කිසි කලෙක අමතක නො වන්නේ ය. කල්ප ගණනක් මෙනෙහි නො කොට සිට ආර්‍ය්‍ය සත්‍යයන් මෙනෙහි කළේ ද, කලක් උඩ නො බලා සිට කෙනකුට උඩ බැලූ කෙණෙහි ම ඉර හඳ ආදි ආකාශ වස්තූන් ප්‍ර‍මාදයක් නැතිව පෙනෙන්නාක් මෙන් කිසි ම පමාවක් නැතිව පෙනෙන්නේ ය. එය ලෝකෝත්තර මාරග්යේ ඇති දස්සනට්ඨයාගේ වශයෙන් සෝවාන් පුද්ගලයාට ඇති වන ආනිසංසය ය. මතු මාර්ගයන්ගේ දස්සනට්ඨය ද මේ නයින් දත යුතුයි.

4. ආධිපතෙය්‍යට්ඨය

ලෝකෝත්තර මාර්ගයේ ඇති සත්ත්ව සන්තානයට අධිපතිකම් කරන ස්වභාවය ආධිපතෙය්‍යට්ඨ නමි. අධිපති කම් කිරීමය යනු තමාට අනුකූල කර ගැනීම ය. පෘථග්ජනයාගේ සන්තානයට තෘෂ්ණාව අධිපතිකම් කරයි. එබැවින් පෘථග්ජන පුද්ගලයා පින් කරන්නේ ද බොහෝ සෙයින් තෘෂ්ණාවට ආහාර වූ භවභෝග සම්පත් පිණිස ම කරයි. සෝවාන් මාර්ගයට පැමිණි තැන් පටන් ආර්‍ය්‍ය පුද්ගලයාගේ සන්තානයට අධිපතිකම් කිරීමට තෘෂ්ණාව නො සමත් වෙයි. අවශේෂ ක්ලේශයෝ ද සමත් නො වෙති. තෘෂ්ණාධිපත්‍යයෙන් මිදුණා වූ සෝවාන් පුද්ගලයාගේ සන්තානයට මාර්ගය ම අධිපතිකම් කරයි. එබැවින් සේවාන් පුද්ගලයා අපායෝත්පත්තියට හේතුවන අකුශලයක් නො කරයි. පින් කරන්නේ ද සසර දික් කර ගැනීම පිණිස නො ව කෙටි කර ගැනීම පිණිස ම කරයි. මෝක්ෂය සඳහා ම කරයි. එබැවින් සෝවාන් පුද්ගලයාගේ තෘෂ්ණා ග්‍ර‍හණයෙන් මිදුණා වූ කුසලයෝ පරිශුද්ධ වෙති. අපායෝත්පත්තියට හේතුවන පව්කම් නො කිරීම ය, සසර දික් කර ගැනීමට පින්කම් නො කිරීමය, ත්‍රිවිධ රත්නය නො හැරීම ය, අන්‍ය ශාස්තෘවරයකුගේ පිහිට නො සෙවීම ය යනාදිය සෝවාන් මාර්ගයාගේ ආධිපතෙය්‍යට්ඨය නිසා සෝවාන් පුද්ගලයාට ලැබෙන ආනිසංසයෝ ය. මතු මාර්ගයන්ගේ ආධිපතෙය්‍යට්ඨ ද කියන ලද නයින් සලකා ගත යුතු ය.

මාර්ග සත්‍යය හෙවත් මිදීමේ නො වරදින ක්‍ර‍මය කවරෙක්දැයි සෙවිය යුත්තේ කියන ලද ලක්ෂණයන්ගේ හෙවත් ස්වභාවයන්ගේ වශයෙනි. යමක නීය්‍යානට්ඨය යි කියන ලද සසරින් එතර කරන ස්වභාවය ද, හේතුට්ඨය යි කියන ලද නිවන් ලැබීමට හේතුවන ස්වභාවය ද, දස්සනට්ඨය යි කියන ලද ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් නිවන දක්නා ලද ස්වභාවය ද, ආධිපතෙය්‍යට්ඨය යි කියන ලද අධිපති ස්වභාවය ද යන මේ සතර ඇත්තේ නම් එය සත්‍ය වූ දුකින් මිදීමේ මාර්ගය ය. සම්මාදිට්ඨි ආදි අංග අටක් ඇත්තා වූ මේ මාර්ගයෙහි ඒ ස්වභාවය සතර ඒකාන්තයෙන් ඇත්තේ ය. අනෙකක ඒ ස්වභාව සතර නැත්තේ ය. එබැවින් තථාගතයන් වහන්සේ සම්මාදිට්ඨි ආදි අංග අටින් යුක්ත වූ ලෝකෝත්තර මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය යි වදාළ සේක.

සත්‍ය ප්‍රභේද

බුදුන් වහන්සේ “චත්තාරි අරියසච්චානි” යනාදීන් චතුරාර්‍ය්‍ය සත්‍යයක් ද දේශනය කළ සේක. “චත්තාරි සච්චානි දුක්ඛං, දුක්ඛ සමුදයො, දුක්ඛ නිරොධො, දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යනුවෙන් ආර්ය ශබ්දය නො ගෙන චතුස්සත්‍ය දේශනයක් ද කළ සේක. චතුරාර්‍ය්‍ය සත්‍යය හා චතුස්සත්‍යය එකක් ම යයි වරදවා නො ගත යුතු ය. සමුදය සත්‍ය වශයෙන් තෘෂ්ණාව පමණක් දක්වා දේශනය කරන ලද්ද චතුරාර්‍ය්‍ය සත්‍යය යි. තෘෂ්ණාව හැර තවත් දුඃඛෝත්පත්ති හේතූහු ඇත හ. ඒවායේ දුඃඛ ලක්ෂණය ඇති බැවින් ද දුඃඛෝත්පත්ති හේතූන් වුව ද තෘෂ්ණාව නැතිව ඒවාට ම දුක් ඉපදවිය නො හෙන බැවින් ද, ආර්ය සත්‍යය දේශනයේ දී තෘෂ්ණාව පමණක් සමුදය සත්‍යය වශයෙන් දේශිත ය. දුඃඛෝත්පාදක හේතු සියල්ල ම සමුදය සත්‍යයට ඇතුළු කොට දක්වා චතුස්සත්‍යය දේශනය කරන ලද්දේ ය. චතුස්සත්‍ය දේශනයේ දී සමුදය සත්‍යය වශයෙන් ගනු ලබන ධර්ම කොටස් පසෙකි. ඔවුහු නම් තෘෂ්ණාව ය, තෘෂ්ණාවෙන් අන්‍ය ක්ලේශයෝ ය, අවශේෂ අකුශල ධර්මයෝ ය, සාශ්‍ර‍ව කුශල මූලයෝ ය, අවශේෂ සාශ්‍ර‍ව කුශලයෝ ය යන මොහුය. ඒ ධර්මයන්ගේ වශයෙන් ආකාර කීපයකින් සමුදය සත්‍යය දක්වමින් චතුස්සත්‍යය දේශනය කර තිබේ. එහි සර්ව සංග්‍රාහික දේශනය මෙසේ ය:

(1) තත්ථ කතමො දුක්ඛසමුදයො? තණ්හා ච, අවසේසා ච කිලෙසා, අවසේසා ච අකුසලා ධම්මා, තීණී ච කුසලමූලානි සාසවානි, අවසේසා ච සාසවා කුසලා ධම්මා අයං වුච්චති දුඃඛසමුදයො.

(2) තත්ථ කතමං දුක්ඛං? සාසවානං කුසලාකුසලානං ධම්මානං විපාකා යෙ ච ධම්මා කිරියා නෙව කුසලානාකුසලානං ච කම්මවිපාකා සබ්බඤ්ච රූපං ඉදං වුච්චති දුක්ඛං.

(3) තත්ථ කතමො දුක්ඛනිරොධො? තණ්හාය ච අවසෙසානඤ්ච කිලෙසානං අවසෙසානඤ්ච අකුසලානං ධම්මානං තිණ්ණඤ්ච කුසලමූලානං සාසවානං අවසෙසානඤ්ච සාසවානං කුසලානං ධම්මානං පහාණං අයං වුච්චති දුක්ඛනිරොධො.

(4) තත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා? ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නීය්‍යාණිකං අපචයගාමිං දිට්ඨිගතානං පහාණාය පඨමායා භූමියා පත්තියා විචිච්චෙව කාමෙහි විචිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛා පටිපදං දන්ධාභිඤ්ඤං තස්මිං සමයෙ අට්ඨංගිකො මග්ගො හොති. සම්මා දිට්ඨි-පෙ-සම්මා සමාධි. අයං වුච්චති දුක්ඛනිරොධ ගාමිනියා පටිපදා. අවසේසා ධම්මා දුක්ඛ නිරොධ ගාමිනියා පටිපදාය සම්පයුත්තා.

මෙහි තේරුම මෙසේ ය:

(1) ඒ චතුස්සත්‍යයන් අතුරෙන් දුඃඛ සමුදයය කවරේ ද? තෘෂ්ණාව ද, අවශේෂ ක්ලේශයෝ ද, අවශේෂ කුශල ධර්මයෝ ද, සාශ්‍ර‍ව වූ කුශල මූලයෝ තිදෙන ද, අවශේෂ සාශ්‍ර‍ව කුශල ධර්මයෝ ද යන මෙය දුඃඛ සමුදය යි කියනු ලැබේ.

(2) එහි දුඃඛය කවරේ ද? සාශ්‍ර‍ව වූ කුශලාකුශල ධර්මයන්ගේ විපාකයෝ ද, යම් ධර්ම කෙනෙක් ක්‍රියාවෝ වෙත් ද නොවෙත් ද අකුශලයෝ නො වෙත් ද කර්ම විපාක නො වෙත් ද ඒ ධර්මයෝ ද සියලු රූපය ද යන මෙය දුක්ඛය යි කියනු ලැබේ.

(3) එහි දුඃඛ නිරෝධය කවරේ ද? තෘෂ්ණාවන්ගේ ද, අවශේෂ ක්ලේශයන්ගේ ද, අවශේෂ වූ අකුශල ධර්මයන්ගේ ද, සාශ්‍ර‍ව වූ තිදෙනෙක් වූ කුශල මූලයන්ගේ ද, සාශ්‍ර‍ව වූ අවශේෂ කුශල ධර්මයන්ගේ ද, ප්‍ර‍හාණයක් වේ ද මෙය දුඃඛ නිරෝධය යයි කියනු ලැබේ.

(4) එහි දුඃඛ නිරෝධ ගාමිනී පටිපදාව කවරේ ද? මේ සස්නෙහි මහණ තෙමේ යම් සමයෙක් හි දෘෂ්ටීන් ප්‍ර‍හාණය කරනු පිණිස ප්‍ර‍ථම ලෝකෝත්තර භූමියට පැමිණෙනු පිණිස සංසාරයෙන් එතරට පමුණුවන්නා වූ ත්‍රෛභූමික කුශලයන් ඇති කරන්නා වූ ච්‍යුතිප්‍ර‍තිසන්ධීන් නැති කරගෙන යන්නා වූ ලෝකෝත්තර ධ්‍යානය වඩා ද කාමයන් කෙරෙන් වෙන් ව අකුශල ධර්මයන් කෙරෙන් වෙන් ව විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙහි හට ගත්තා වූ ප්‍රීතිය හා සුඛය ඇත්තා වූ දුඃඛ ප්‍ර‍තිපදා ඇත්තා වූ දග්ධ වූ අභිඥා ඇත්තා වූ ප්‍ර‍ථම ධ්‍යානය සම්පාදනය කොට වාසය කෙරේ ද, එසමයෙහි අෂ්ටාංගික මාර්ගය වේ. සම්මාදිට්ඨි ය, සම්මා සංකප්පය, සම්මා වාචාව ය, සම්මා කම්මන්ත ය, සම්මා ආජීව ය, සම්මා වායාම ය, සම්මා සති ය, සම්මා සමාධිය ය යන මෙය දුඃඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාව ය. (එ සමයෙහි ඇතිවන) අවශේෂ ධර්මයෝ දුඃඛ නිරෝධ ගාමිනී ප්‍ර‍තිපදාව හා සම්ප්‍ර‍යුක්තයෝ ය.

සත්‍ය කෘත්‍ය සතර

චතුරාර්‍ය්‍ය සත්‍යය දත් පමණින් ම දුකින් මිදෙන්නේ නො වේ. චතුරාර්‍ය්‍ය සත්‍ය විෂයෙහි කළ යුතු වැඩ සතරක් ඇත්තේ ය. චතුරාර්‍ය්‍ය සත්‍යය දැන ගැනීමේ නියම ඵලය ලැබෙන්නේ ඒ කෘත්‍ය සතර ද කොට නිම කළ කල්හි ය. ඒ සත්‍ය කෘත්‍යයෝ නම් පරිඥා කෘත්‍යය, ප්‍ර‍හාණ කෘත්‍යය, සාක්ෂාත් කරණ කෘත්‍යය, භාවනා කෘත්‍යය යන මොහු ය.

එහි පරිඥා කෘත්‍යය දුඃඛ සත්‍යය පිළිබඳ වූවකි. දුඃඛ සත්‍යයට අයත් නාම රූප ධර්මයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ හා අනිත්‍යාදි සාධාරණ ලක්ෂණ ද මනාකොට පිරිසිඳ දැන ගැනීම පරිඥා කෘත්‍යය යි. ප්‍ර‍හාණ කෘත්‍යය සමුදය සත්‍යය පිළිබඳ වූවකි. සමුදය සත්‍යය සංඛ්‍යාත තෘෂ්ණාව ස්වසන්තානයෙන් බැහැර කිරීම ප්‍ර‍හාණ කෘත්‍යය යි. සාක්ෂාත්කරණය නිරෝධ සත්‍යය පිළිබඳ වූවකි. නිරෝධ සත්‍යය සංඛ්‍යාත නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ කර ගැනීම් වශයෙන් ලබා ගැනීම සාක්ෂාත් කරණය යි. භාවනා කෘත්‍යය මාර්ග සත්‍යය පිළිබඳ වූවකි. මාර්ගාංග ධර්මයන් ලෝකෝත්තරත්වයෙන් ස්වසන්තානයෙහි පහළවන තෙක් දියුණු කිරීම මාර්ග සත්‍යය පිළිබඳ භාවනා කෘත්‍යය යි. මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ආදරයෙන් දැන උගෙන පරිඥා ප්‍ර‍හාණාදි සත්‍ය කෘත්‍යයන් ද කොට නිමවා සියල්ලෝ ම සසර දුකින් මිදෙත්වා!

මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්ම වර්ණනාව සම්පාදනය කිරීමෙන් අප විසින් අත්පත් කර ගන්නා ලද පුණ්‍ය ස්කන්ධයාගේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ ම සසර දුකින් මිදී උතුම් නිවන් පුරයට පැමිණෙත්වා!

චතුරාර්‍ය්‍ය සත්‍ය වර්ණනාව නිමියේ ය.

  1. අභිධර්මාර්ථ සංග්‍ර‍හය උගෙනීමේදී මේ මහා නා හිමියන් විසින් ලියන ලද ‘අභිධර්මයේ මූලික කරුණු’ හා ‘අභිධර්ම මාර්ගය’ නමැති ග්‍ර‍න්ථ කියවීම වැඩදායකය.