චත්තාළීසාකාර විපස්සනා භාවනාව
රේරුකානේ චන්දවිමල හිමි
මෙම පොත වෙබ් පිටු ලෙස මෙතනින් කියවන්න.
පටුන
පටුන

චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව

(අටවන මුද්‍ර‍ණය)

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.

2549/2006

ප්‍ර‍ස්තාවනා

“චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව” වනාහි ධ්‍යාන-මාර්ග-ඵල-අභිඥාදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති පටිසම්භිදාමාග්ග නමැති ග්‍ර‍න්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍ර‍මයෙකි. මෙය ඉතා ම විස්තර විදර්ශනා භාවනා ක්‍ර‍මය ය.

සිල්වත් භික්ෂුවය, සෝවාන් භික්ෂුවය, සකෘදාගාමි භික්ෂුවය, අනාගාමි භික්ෂුවය, රහත් භික්ෂුවය යන සැම දෙනා විසින් ම පඤ්චස්කන්ධය අනිත්‍ය-දුඃඛ-රෝග-ගණ්ඩාදි වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතු බව ඛන්ධවග්ග සංයුත්තයේ චූළපණ්ණාසකයේ ධම්මකථික වග්ගයෙහි සීලවන්ත සූත්‍රයෙහි දක්වා ඇත්තේය. තවද ඒ වර්ගයෙහි ම එන සුතවන්ත සූත්‍රයෙහි-

“ඨානං ඛෝ පනේතං අවුසෝ විජ්ජති යං සුතවා භික්ඛු පඤ්චුපාදානක්ඛන්ධෙ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපත්තිඵලං සච්ඡිකරෙය්‍යාති. -පෙ- සකදාගාමිඵලං සච්ඡිකරෙය්‍යාති -පෙ- අනාගාමිඵලං සච්ඡිකරෙය්‍යාති -පෙ- අරහත්තඵලං සච්ඡිකරෙය්‍යාති.”

යනුවෙන් පඤ්චුපාදානස්කන්ධයන් අනිත්‍ය-දුඃඛ-රෝග-ගණ්ඩාදි වශයෙන් විදර්ශනා කරන උගත් භික්ෂුවට සෝවාන් ඵලය ද සකෘදාගාමි ඵලය ද, අනාගාමි ඵලය ද, අර්හත් ඵලය ද සාක්ෂාත් කළ හැකි වීමට කරුණක් ඇත්තේය” යි දක්වා ඇත්තේ ය.

සීලන්තසූත්‍ර‍-සුතවන්තසූත්‍ර‍ දෙක්හි දැක්වෙන කරුණු අනුව දැනට ජීවිතයේ පශ්චිමකාලයට පැමිණ සිටින අපිදු මේ කාලය චත්තාළීසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීමට ඉටා ගතිමු. එය ඵලදායක වන්නේ ද, විදර්ශනා කළ යුතු ආකාර සතළිස ගැන පිරිසිදු දැනුමක් ඇතිව භාවනා කළහොත් ය. කියැවීමෙන්-කීමෙන්-ඇසීමෙන්-සිතීමෙන් යම්කිසි කරුණක් ගැන ඇතිවන දැනුමට වඩා උසස් දැනුමක්, පිරිසිදු දැනුමක්, පුළුල් දැනුමක් ඒ දෙය විස්තර කර ලිවීමෙන් ඇති කර ගත හැකි ය. එබැවින් සතළිස් ආකාර විපස්සනාව ගැන අපගේ දැනුම දියුණු කර ගැනීමේ අදහස, මේ ග්‍ර‍න්ථය සැපයීමේ ප්‍ර‍ධාන හේතුව ය. කාහටත් යෝග්‍ය උසස් භාවනාවක් වන මේ චත්තාළීසාකාර විපස්සනාව කිසිම පොතක විස්තර කර නැත. මේ භාවනාව විස්තර කර විශේෂ ග්‍ර‍න්ථයක් ද දක්නට නැත. එය නිවන් සොයන සැදැහැවතුන්ට ඉමහත් පාඩුවකි. ඒ පාඩුව පිරිමසාලීම ද මේ ග්‍ර‍න්ථය සම්පාදනය කිරීමේ එක් හේතුවකි.

අනේකාකාර විදර්ශනා භාවනා ක්‍ර‍ම ඇත්තේ ය. ඒ සෑම භාවනා ක්‍ර‍මයකින් ම බලාපොරොත්තු විය යුත්තේ, ස්කන්ධයන්ගේ අනිත්‍ය-දුඃඛ-අනාත්ම යන ලකුණු තුන අවබෝධ කිරීම ය. අනිත්‍යාදි ලක්ෂණ තුන සතළිස් ආකාරයකින් ම විස්තර කරන මේ ග්‍ර‍න්ථය භාවිත කිරීම කවර ආකාරයකින් වුව ද විදර්ශනා වඩන යෝගාවචරයන්ට සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ අවබෝධ කර ගැනීමට මහෝපකාරයක් වනු ඇත. භාවනාමධ්‍යස්ථාවල භාවනා පුරුදු කළා වූ ද, දැනට භාවනා කරන්නා වූ ද, මතු භාවනා කිරීමට බලාපොරොත්තු ඇත්තා වූ ද, සියලු සැදැහැවතුන්ට හා සසරදුකින් මිදෙනු රිසියෙන් සසුන් වැද පැවිදිව සිටින කුලපුත්‍ර‍යන්හට ද මේ පොත කියවීමෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලැබිය හැකි වනු ඇත. මේ පොත කියවීම ම ද භාවනාවක් වෙයි. මෙය නැවත නැවත කියවන පින්වතුන්ට පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය වසා සිටින අවිද්‍යාව නමැති වලාකුළ තුනීවෙයි. කාමච්ඡන්දය තුනී වෙයි. එයින් ඔවුන්ගේ සිත භාවනාවට නැමෙයි. නිවන් සෙවීමට නැමෙයි.

රූපාවචර - අරූපාවචර ධ්‍යානසමාධි හා සෘද්ධිබල බුදු-පසේබුදුවරයන් විසින් හා බුද්ධශ්‍රාවකයන් විසින් කර ඇති ගෙන සිටින නමුත් ඒවා බුදුසසුනේ සාරය නො වේ. ඒවා බුදුසසුනෙන් පිටත ද ඇත්තේ ය. විදර්ශනාව හා මාර්ගඵල ධර්ම බුදුසසුනෙහි මිස, ඉන් පිටත තීර්ථක ශාසනවල නැත. බුදුසසුනේ සාරය නම්, අන් සසුන්වල නැති මෙහි ම ඇති විදර්ශනා මාර්ගඵලයෝ ය. ලෝකෝත්තර මාර්ගඵල ලබා දෙන්නේ විදර්ශනාවෙනි. ධ්‍යානසමාධීහු මඟඵල ලබා දීමට සමත් නො වෙති. බොහෝ වෙහෙසී රූපාවචර ධ්‍යානයක් ලබාගත් තැනැත්තාට මරණය තෙක් ඒ ධ්‍යානයෙන් නො පිරිහී සිටිය හැකි වුවහොත් බ්‍ර‍හ්මලෝකයෙහි උත්පත්තිය ලැබිය හැකිය. ධ්‍යානය ආරක්ෂා කිරීම ඉතා අපහසුය. අප මහ බෝසතාණන් වහන්සේ පවා ධ්‍යාන ලබා සිට නොයෙක් ජාතිවලදී ඒවායින් පිරිහුණ බව ජාතක කථාවලින් පෙනේ. සෙස්සන්ට එය පරෙස්සම් කර ගැනීමේ අපහසුව ගැන කියනුම කිම? කාමාවචර කුශලය සේ රූපාවචර අරූපාවචර ධ්‍යාන කුශලයෝ නොයෙක්වර නොයෙක් තැන නානා ආකාරයෙන් විපාක දෙන්නාහු නො වෙති. සියවසක් ආරක්ෂා කර ගෙන සිටි ධ්‍යානකුශලය වුව ද මරණාසන්නයේ දී පිරිහී ගියහොත් එය අහෝසි වේ. මතු කිසිම ඵලයක් එයින් නො ලැබේ. විදර්ශනා භාවනා ක්‍ර‍මයක් උගෙන එය භාවිත කරන පින්වතාට වර්තමාන භවයේ දී විශේෂත්වයකට නො පැමිණිය හොත්, ඒ පිනෙන් ඔහුට දෙව්ලොව ඉපදිය හැකි ය. බුදුරජාණන් වහන්සේගෙන් එදා බණ අසා මඟඵල ලැබූ බොහෝ දෙවියෝ අදත් දෙව්ලොව ඇත්තාහ. ඔවුන් ආශ්‍රයෙන් ඔවුන්ගෙන් දහම් ඇසීමෙන් මිනිස්ලොවදී විදර්ශනා පුරුදු කළ පින්වතාට දෙව්ලොවදී මඟ ඵල ලැබීමට ඉඩ ඇත. එසේ ද නො හැකි වුව හොත් බුදු කෙනකුන් හමු වූ විටෙකදී ඔහුට ලෙහෙසියෙන් මඟපල ලබා නිවන් දැකිය හැකි ය.

බුද්ධෝත්පාදය දුර්ලභ ය. බුදුසසුනෙන් ලැබිය යුතු උසස් ප්‍රයෝජනය ලැබීමට නම් බුදුසස්නෙහි පමණක් ඇති විදර්ශනා භාවනාව කළ යුතුම ය. “ආනාපන මෛත්‍රී අශුභාදි ශමථ භාවනා නො කළ යුතුය යි අපි නො කියමු. ඒවා ම භාවනා කිරීමෙන් බුදුසස්නෙන් ලැබිය යුතු උසස් දෙය නො ලැබෙන බැවින් විදර්ශනා වැඩීම සෑම දෙනා විසින් ම කළ යුතු ය.

“ශමථ භාවනාවෙන් සමාධියක් උපදවා නො ගෙන විදර්ශනා වැඩීමෙන් පලක් නැතය” යන මතයක් ද සමහරුන්ට ඇත්තේ ය. එය වැරදි හැඟීමකි. ඒ ගැන දත යුතු කරුණු මේ පොතේ අග කොටසෙහි ඇත. ඒවා හොඳින් කියවා සැක ඇත්තෝ සැක දුරු කර ගනිත්වා! ශමථ භාවනාවලින් සමාධි උපදවා - ධ්‍යාන උපදවා විදර්ශනා වඩන්නට සිටියහොත් විදර්ශනාවක් වඩන්නට නො ලැබීම ජීවිතය කෙළවර වනු ඇත. එයින් ඔබට බුද්ධෝත්පාදයෙන් ලැබිය හැකි උසස් ඵලය නො ලැබී යන්නේ ය. භාවනා කිරීමට පටන් ගන්නා අයගෙන් ධ්‍යානයක්-මාර්ගයක්-ඵලයක් ලැබීම දක්වා භාවනාව ගෙන යාම තබා තරමක සමාධියක්, තරමක විදර්ශනාඥානයක් ලැබෙන පරිදි වුව ද භාවනාව පැවැත්විය හැකි වන්නේ ඉතාම ටික දෙනකුන්ට ය. එයට හේතුව නීවරණයන් විසින් ඔවුන් පරදවනු ලැබීම ය. භාවනාව දියුණු කළ හැකි වීමට නම්, යෝගාවචරයා විසින් නීවරණ පැරදවිය යුතු ය. යෝගාවචරයකුට භාවනා කරමිය කියා කරන්නට ඇත්තේ නීවරණ සටන ය. බුදුසස්නෙහි පැවිදිව ආර්ය ශීලස්කන්ධයෙහි පිහිටා, ආර්ය වූ ඉන්ද්‍රියසංවරයෙහි පිහිටා ආර්ය වූ සිහිනුවණින් යුක්තව විවේකස්ථානයකට එළඹ වාඩිවී කමටහණෙහි සිත පිහිටවා ගෙන කාමච්ඡන්දාදි නීවරණයන් ගෙන් සිත පිරිසිදු කොට යෝගාවචරයන් ධ්‍යානාදි ධර්ම ලබන බව බොහෝ සූත්‍ර‍යන්හි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. ඒ සූත්‍ර‍ දේශනාවල දැක්වෙන අන්දමට යෝගාවචරයකුට භාවනා කිරීම් වශයෙන් කරන්නට ඇති ප්‍ර‍ධාන දෙය නීවරණයන් ගෙන් සිත පිරිසිදු කිරීම ය. “මෙකල භාවනා කරමි” යි කියා සමහර අවස්ථාවල යම් කිසිවක් මෙනෙහි කරන අය නීවරණ ප්‍ර‍හාණය නමැති බර වැඩක් තමාට කරන්නට ඇති බව පවා නො දනිති. ඔවුහු අනේකාකාරයෙන් තමන් කෙරෙහි නැඟී එන නීවරණයන් ද නො හඳුනති. එබැවින් ඔවුහු නීවරණයන් විසින් පරදවනු ලදුව භාවනා කරමි යි කියමින් සැමකල්හි එක තත්ත්වයෙන් ම සිටිති. නීවරණයන් ප්‍ර‍හාණය කිරීමට වීර්ය්‍ය නො කරන ඔවුනට කිසිකලෙක භාවනාවෙන් උසස් ඵලයක් නො ලැබිය හැකිය. නීවරණයන් නො හඳුනන්නවුන්ට ද නීවරණ ප්‍ර‍හාණය නො කළ හැකිය. එබැවින් සසර දුකින් මිදෙනු රිසියෙන් භාවනා කරන පින්වතුන්ට නීවරණයන්න ගැන දැනුමක් ඇතිකර දීම පිණිස නීවරණ විස්තරයක් ද ලියා මේ ග්‍ර‍න්ථයට එකතු කරන ලදි. මේ නීවරණ විස්තරය හොඳින් කියවා ඒවා ගැන දැනුමක් ඇතිකර ගෙන භාවනාව කරගෙන යන යෝගාවචරයන්ට නීවරණ ප්‍ර‍හාණය පහසුවනු ඇත.

මීට-ශාසනස්ථිතිකාමි,

රේරුකානේ චන්දවිමල මහාස්ථවිර

2511 (1967) දෙසැම්බර් 6 වෙනි දින,

පොකුණුවිට, ශ්‍රී විනයාලඞ්කාරාරාමයේ දී ය.

හැඳින්වීම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“චත්තාළීසාය ආකාරේහි අනුලෝමිකං ඛන්තිං පටිලභති, චත්තාළීසාය ආකාරේහි සම්මත්තනියාමං ඔක්කමති” යනුවෙන් සතළිස් ආකාරයකින් ස්කන්ධ පඤ්චකය ගැන භාවනා කරන්නා වූ යෝගාවචර තෙමේ “අනුලෝමිකඛන්ති” නම් වූ විදර්ශනා ඥානය ලබන්නේ ය. සතළිස් ආකාරයකින් භාවනා කරන යෝගාවචර තෙමේ යහපත් ස්වභාවයක් වන හෙයින් ද, එය ලැබූ යෝගාවචරයාට කල් නො යවා එවෙලේ ම එහි ඵලය ලැබෙන බැවින් ද “සම්මත්තනියාම” නම් වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණේය යි පටිසම්භිදාමග්ග පාළියෙහි දක්වා ඇත්තේ ය.

රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධපඤ්චකයට අයත් ධර්මයන් හා ඒවායේ අනිත්‍යාදි ලක්ෂණයන් දක්නා වූ දන්නා වූ වටහා ගන්නා වූ නුවණ විදර්ශනාඥාන නම් වේ. ධර්මයෙන් ඈත්ව අවිද්‍යාවෙන් අන්ධ ව වස්තුකාම ක්ලේශකාම සංඛ්‍යාත මහ මඩ වගුරෙහි එරී සිටින අන්ධපෘථග්ජනයෝ රූපාදි ස්කන්ධ සමූහය ස්වභාව ධර්ම සැටියට නොව, සත්ත්වයන් පුද්ගලයන් සැටියට, ආත්මයන් සැටියට, සත්ත්වයන්ගේ අවයව සැටියට, නිත්‍ය දේ සැටියට, හොඳ දේ සැටියට, ඇලුම් කළ යුතු පවත්වා ගත යුතු දේ සැටියට වරදවා තේරුම් ගෙන සිටිති. රූපාදීන් සත්ත්වයන් පුද්ගලයන් ආත්මයන් සැටියට නොව, රූපාදි ධර්ම සැටියටත් අනිත්‍ය අශුභාදි සැටියටත් දක්නා වූ යෝගාවචරයන්ගේ ඒ ඇති සැටිය නො වරදවා දැකීම දැනීම තේරුම් ගැනීම අන්ධ පෘථග්ජනයන් ගේ දැනුමට වෙනස් වූ දැනුමක් බැවින් විදර්ශනාඥාන නම් වේ. පටිසම්භිදාමග්ගයෙහි දැක්වෙන සතළිස් ආකාරයෙන් භාවනා කරන්නා වූ යෝගාවචරයන්ට එය ඉතා විස්තර භාවනාවක් වන බැවින් විශේෂයෙන් පිරිසිදු වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට අතිශයින් උපකාර වූ උසස් විදර්ශනා ඥානයක් ඇති වේ. විදර්ශනා භාවනා ක්‍ර‍ම අතුරෙන් මේ සතළිස් ආකාර භාවනාව ඉතා විස්තර භාවනාව බැවින් එය මහා විදර්ශනා භාවනා නම් වේ.

මේ මහාවිදර්ශනා භාවනාව කරනු කැමති පින්වතුන් පළමුවෙන් පඤ්චස්කන්ධය පිළිබඳ දැනුම ඇති කර ගත යුතු ය. පඤ්චස්කන්ධය විස්තර කර ඇති පොත් බොහෝ ඇත්තේ ය. අප විසින් සම්පාදිත චතුරාර්‍ය්‍යසත්‍යය නමැති ග්‍ර‍න්ථයෙහි ද පඤ්චස්කන්ධය පිළිබඳ සාමාන්‍ය විස්තරයක් ඇත්තේ ය. සංස්කාර යනු ද පඤ්චස්කන්ධයට අයත් රූපාදි ධර්මයන්ට කියන නමෙකි. කර්මාදි ප්‍ර‍ත්‍යයන් නිසා ඇති වන බැවින් රූපාදින්ට සංස්කාරය යි කියනු ලැබේ. පඤ්චස්කන්ධයට අයත් ධර්‍ම, නාම-රූපය යි දෙකොටසකට බෙදා දී ව්‍යවහාර කරනු ලැබේ. රූපස්කන්ධය රූප නම් වේ. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ සතර නාම නම් වේ. මේ විදර්ශනා විස්තරයේ පඤ්චස්කන්ධය යන වචනය ද නාමරූප යන වචනය ද සංස්කාර යන වචනය ද ඒ ඒ තැන්වල යෙදෙනු ඇත. ඒ වචනවලින් කවරක් යෙදුණ ද අර්ථ වශයෙන් ඒවායේ වෙනසක් නැති බව සැලකිය යුතු ය. මේ භාවනාව කිරීම පහසු වනු පිණිස එහි මූලපද සතළිස පාඩම් කර ගත යුතු ය. ඉක්බිති මේ පොත කියවා භාවනා පද එකින් එක විස්තර වශයෙන් තේරුම් ගෙන පිළිවෙළින් සිහි කරනු.

භාවනා පද සතළිස

  1. අනිච්චා, දුක්ඛා, රෝගා, ගණ්ඩා, සල්ලා, (5)
  2. අඝා, ආබාධා, පරේ, පලෝකා, ඊති, (10)
  3. උපද්දවා, භයා, උපසග්ගා, චලා, පහඞ්ගු, (15)
  4. අද්ධුවා, අතාණා, අලේණා, අසරණා, රිත්තා, (20)
  5. තුච්ඡා, සුඤ්ඤා, අනත්තා, ආදිනවා, විපරිණාම ධම්මා (25)
  6. අසාරකා, අඝමූලා, වධකා, විභවා, සාසවා (30)
  7. සඞ්ඛතා, මාරාමිසා, ජාතිධම්මා, ජරාධම්මා, ව්‍යාධිධම්මා, (35)
  8. මරණධම්මා, සෝකධම්මා, පරිදේවධම්මා, උපායාසධම්මා, සංකිලේසිකධම්මා, (40)

1. අනිච්චා

පළමුවන භාවනා පදය.

අනිච්ච යන වචනයේ තේරුම පළමු පැවති ආකාරය වෙනස් වන්නා වූ ද, ගිනිදැල් නිවී යන්නාක් මෙන් සම්පූර්ණයෙන් නැති වන්නා වූ ද දෙය යනුයි. සකල සංස්කාරයෝ ම අනිත්‍යයෝ ය. ඇති වන සංස්කාරයන් අතර විනාඩියක් තබා තත්පරයකුදු පවත්නා එක සංස්කාරයකුදු නැත්තේ ය. විදර්ශනා නො කරන අන්ධ පෘථග්ජනයන් දින ගණන් සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් කල් පවත්නා දේ ලෙස මනුෂ්‍ය ශරීර තිරශ්චීන ශරීර හා ශරීරාවයවයන්හි ද ගස් වැල් කොළ මල් ගෙඩි ආදියෙහි ද පස් ගල් රන් රිදී මුතු මැණික් යකඩ තඹ පිත්තල ඊයම් ආදියෙහි ද ඇසිපිය හෙළන තරම් කාලයකුදු පවත්නා කිසිවක් නැත්තේ ය. ඒ බව වැටහෙන තරමට, පෙනෙන දැනෙන තරමට දියුණු කරගත් විදර්ශනාඥානය උසස් විදර්ශනාඥානය ය. නො දියුණු සාමාන්‍ය විදර්ශනාඥානයට දැනෙන්නේ, සාමාන්‍ය විදර්ශනා-ඥානයෙන් දත හැක්කේ, සංස්කාර පරම්පරාවන් ගේ නැති වී යාම වූ අනිත්‍ය ස්වභාවය ය.

යෝගාවචරයන් විසින් මුලින් කළ යුත්තේ සංස්කාර පරම්පරාවන්ගේ නිරෝධය හෙවත් නැති වී යාම වූ ඖදාරික අනිත්‍යස්වභාවය බැලීම ය. ක්‍ර‍මයෙන් එය කෙටි කරමින් බල බලා ක්ෂණයක් පාසා සිදුවන සංස්කාරයන්ගේ නිරෝධය දැකිය හැකි වන පරිද්දෙන් ඥානය දියුණු කළ යුතු ය. එයට කල් ගත විය හැකි ය. මතු දැක්වෙන ක්‍ර‍මයට සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය බලමින් සිහි කරමින් සිටින යෝගාවචරයාට ක්‍ර‍මයෙන් තියුණු වූ සියුම් වූ විදර්ශනාඥානය ඇති වන්නේ ය.

මේ පොළොවෙහි අතීතයේ විසූ ගණනින් ප්‍ර‍මාණ නොකළ හැකි බොහෝ මනුෂ්‍යයෝ සිටි බවට ලකුණකුදු ඉතිරි නො වී විනාශ වූහ. දැනට වෙසෙන මනුෂ්‍යයෝ ද එසේ ම විනාශ වන්නාහ. වර්ෂ ලක්ෂගණනකට කෝටි ගණනට ආයු ඇති ආනුභාව සම්පන්න දෙවියෝ ද කල්ප ගණන් ආයු ඇති මහානුභාව සම්පන්න බ්‍ර‍හ්මරාජයෝ ද විනාශයෙන් කෙළවර වන්නාහ. ඇත් අස් ගව එළු බැටළු බලු කපුටු ආදීහු ද විනාශයෙන් කෙළවර වන්නාහ. ඇඳ පුටු මේස අල්මාරි පෙට්ටි ආදි නන්වැදෑරුම් භාණ්ඩයෝ ද දහස් ගණන් ලක්ෂගණන් කෝටිගණන් ධන වැය කොට තනා ඇති ගෙවල් ද රථ යන්ත්‍ර‍ ආදිය ද යන මේ සියල්ල විනාශයෙන් කෙළවර වන්නාහ. පොළොවේ ගස් වැල් ඇළ දොල ගඞ්ගා වැව් පොකුණු ද විනාශයෙන් කෙළවර වන්නේ ය. මහකඳු මහසයුරු මහපොළොව ඉර සඳ යන මේ විශාල වස්තූහු ද කල්පාන්තයේ දී ගිනි ගත් කපුරු සේ කිසිවක් ඉතිරි නො වී විනාශ වන්නාහ. එබැවින් සකල සංස්කාරයෝ ම අනිත්‍යයෝ ය.

තමාගේ පඤ්චස්කන්ධය ගැන මෙසේ නුවණින් බලනු. මා සම්බන්ධ අතීත භවයන්හි ඇති වූ සංස්කාරයෝ අතීත භවවලදී ම නිරුද්ධ වූහ. අතීත භවයෙන් මේ භවයට ආ කිසි සංස්කාරයක් නැත. එ බැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය. වර්තමාන භවයේ ඇති මේ සංස්කාර සියල්ල මේ භවයේදී ම නිරුද්ධ වන්නේ ය. මේ භවයේ ඇති කිසි සංස්කාරයක් හෙවත් නාමයක් හෝ රූපයක් අනාගත භවයට නො යන්නේ ය. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය, ප්‍ර‍ථම වයසේ දී පැවති සංස්කාරයෝ ප්‍ර‍ථම වයසේ දී ම නිරුද්ධ වන්නාහ. මධ්‍යම වයසට නො පැමිණෙන්නාහ. මධ්‍යම වයසේදී පැවති සංස්කාරයෝ මධ්‍යම වයසේදී ම නිරුද්ධ වන්නාහ. පශ්චිම වයසට නො පැමිණෙන්නාහ. පශ්චිම වයසේ සංස්කාරයෝ එහි ම නිරුද්ධ වන්නාහ. එයින් එක සංස්කාරයකුදු අනාගත භවයට නො යන්නේ ය. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය.

සියවසක් ජීවත් වන්නකුගේ ජීවිත කාලය මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්‍ණදශකය, බලදශකය, ප්‍ර‍ඥාදශකය, හානිදශකය, ප්‍රාග්භාරදශකය, ප්‍ර‍වඞ්කදශකය, මෝමූහ දශකය, ශයනදශකය යන දශකයන්ගේ වශයෙන් ද අනිස බව මෙනෙහි කරනු. සියවසක් ජීවත් වන්නහුගේ පළමු වන දසවස මන්දදශක නම් වේ. ඔහු සෙල්ලමෙන් ගත කරන දෙවන දසවස ක්‍රීඩාදශක නමි. ශරීරය ලස්සනට පවතින තුන්වන දසවස වර්ණදශක නමි. ශරීර ශක්තිය බොහෝ ඇති සතරවන දසවස බලදශක නමි. හොඳට නුවණ ඇති පස්වන දසවස ප්‍ර‍ඥාදශක නමි. ශරීර ශක්තිය පිරිහෙන අතට හැරෙන සවන දසවස හානිදශක නමි. ඉන්පසු ශරීරය ඉදිරියට බරවන බැවින් සත්වන දසවස ප්‍රාග්භාරදශක නමි. අටවන දසවස ශරීරය ඉදිරියට නැමෙන බැවින් ප්‍ර‍වඞ්ක දශක නමි. සිහිය අඩු වන බැවින් නවවන දසවස මෝමූහ දශක නමි. ගමනාගමනය හා වැඩ කළ නො හැකි ව බෙහෙවින් ශයනයක වැතිර සිටින බැවින් දසවන දසවස ශයන දශක නමි.

පළමුවන දසවස වූ මන්දදශකයේ සංස්කාරයෝ එහි ම නිරුද්ධ වන්නාහ, ක්‍රීඩාදශකයට නො පැමිණෙන්නාහ. දෙවන දසවස වූ ක්‍රීඩාදශකයේ සංස්කාරයෝ එහි ම නිරුද්ධ වන්නාහ. වර්ණදශකයට නො පැමිණෙන්නාහ. තුන්වන වර්ණදශකයේ සංස්කාරයෝ එහි ම නිරුද්ධ වන්නාහ. බලදශකයට නො පැමිණෙන්නාහ. සතරවන බලදශකයේ සංස්කාරයෝ එහි ම නිරුද්ධ වන්නාහ. ප්‍ර‍ඥා දශකයට නො පැමිණෙන්නාහ. පස්වන ප්‍ර‍ඥාදශකයේ සංස්කාරයෝ සවන හානිදශකයට නො පැමිණෙන්නාහ. එහි ම නිරුද්ධ වන්නාහ. සවන හානිදශකයේ සංස්කාරයෝ සත්වන ප්‍රාග්භාරදශකයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. ප්‍රාග්භාරදශකයේ සංස්කාරයෝ අටවන ප්‍ර‍වඞ්කදශකයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. ප්‍ර‍වඞ්කදශකයේ සංස්කාරයෝ නවවන මෝමූහදශකයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. මෝමූහදශකයේ සංස්කාරයෝ දසවන ශයනදශකයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. ශයනදශකයේ සංස්කාරයෝ භවාන්තරයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය.

සියවසක් වූ ජීවිත කාලය පස්වස බැගින් විසිකොටසකට බෙදා අනිත්‍යභාවය බලනු. පළමුවන පස්වසෙහි සංස්කාරයෝ දෙවන පස්වසට නො පැමිණ එහිම නිරුද්ධ වන්නාහ. දෙවන පස්වසෙහි සංස්කාරයෝ තෙවන පස් වසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. -පෙ- එකුන් විසිවස පස්වසෙහි සංස්කාරයෝ විසිවන පස්වසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. විසිවන පස්වසෙහි සංස්කාරයෝ දෙවන භවයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය.

සියවසක් වූ ජීවනකාලය ක්‍ර‍මයෙන් කෙටි කරමින් බෙදා අනිත්‍යතාව බලනු. සියවස සිවුවස බැගින් බෙදූ කල්හි කොටස් පස්විස්සකි. එයින් පළමුවන සිවුවසෙහි සංස්කාරයෝ දෙවන සිවුවසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. දෙවන සිවුවසෙහි සංස්කාරයෝ තෙවන සිවුවසට නො පැමිණ එහිම නිරුද්ධ වන්නාහ. -පෙ- සූවිසි වන සිවු වසෙහි සංස්කාරයෝ පස්විසි වන සිවුවසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. පස්විසි වන සිවුවසෙහි සංස්කාරයෝ අනන්තර භවයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය. නැවත ආයුකාලය තෙවස බැගින් තිස්තුන් කොටසකට බෙදා අනිත්‍යතාව බලනු. පළමුවන තෙවසෙහි සංස්කාරයෝ දෙවන තෙවසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. දෙවන තෙවසෙහි සංස්කාරයෝ තෙවන තෙවසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. -පෙ- දෙතිස්වන තෙවසෙහි සංස්කාරයෝ තෙතිස්වන තෙවසට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. තෙතිස් වන කොටසෙහි සංස්කාරයෝ භවාන්තරයට නො පැමිණ එහි ම නිරුද්ධ වන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය. මෙසේ ආයුකාලය දෙවස බැගින් ද, එක්වස බැගින් ද බෙදා අනිත්‍යතාව බලනු. ඉක්බිති එක්වසරක් වස්සාන හේමන්ත ගිම්හාන යන තුන් සෘතුවට බෙදා ද, දෙමස බැගින් බෙදා ද, එක්මස බැගින් බෙදා ද, නැවත සති වශයෙන් බෙදා ද, සති දවස් වශයෙන් බෙදා ද අනිත්‍යතාව සිහි කරනු.

ඉක්බිති දිනය රෑ දවල් වශයෙන් දෙකට බෙදා ද, රාත්‍රි ප්‍ර‍ථමයාම මධ්‍යමයාම පශ්චිමයාම වශයෙන් තුනට බෙදා ද, දවාල පූර්වාහ්න මධ්‍යාහ්න සායාහ්න වශයෙන් තුනට බෙදා ද අනිත්‍යතාව බලනු. රාත්‍රියෙහි පැවති සංස්කාරයෝ රාත්‍රියෙහි ම නිරුද්ධ වන්නාහ. දවල් කාලයට නො පැමිණෙන්නාහ. දවාලෙහි පවත්නා සංස්කාරයෝ දවාලෙහි ම නිරුද්ධ වන්නාහ. රාත්‍රිය පැමිණෙන තෙක් නො පවත්නාහ. රාත්‍රියේ ප්‍ර‍ථමයාමයේ සංස්කාරයෝ ප්‍ර‍ථමයාමයේ ම නිරුද්ධ වන්නාහ. මධ්‍යම යාමයට නො පැමිණෙන්නාහ. මධ්‍යම යාමයේ සංස්කාරයෝ එහි ම නිරුද්ධ වන්නාහ. පශ්චිම යාමයට නො පැමිණෙන්නාහ. දවාලෙහි, පූර්වාහ්නයේ සංස්කාරයෝ පූර්වාහ්නයෙහි ම නිරුද්ධ වන්නාහ. මධ්‍යාහ්නයට නො පැමිණෙන්නාහ. මධ්‍යාහ්නයෙහි සංස්කාරයෝ මධ්‍යාහ්නයෙහි ම නිරුද්ධ වන්නාහ. සායාහ්නයට නො පැමිණෙන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය.

තව ද ඉදිරියට යාම, පස්සට ඊම, ඉදිරිය බැලීම, දෙපස බැලීම අත්පා නැමීම, දිග හැරීම යනාදි කායික ක්‍රියාවන් අනුව ද අනිත්‍යතාව බැලිය යුතු ය. ශරීරය ඉදිරියට යාමේදී පැවති රූපයෝ පස්සට ඊමේදී නැත. ඒවා ඉදිරියට යාමේදී ම නිරුද්ධ විය. පස්සට ඊමෙහි පැවති රූප නැවතුණු පසු නැත. ඒවා පස්සට ඊමෙහිදී ම නිරුද්ධ විය. නැවතී සිටීමෙහිදී පවත්නා රූප එහි ම නිරුද්ධ වේ. ගමන් කරන කල්හි ඒවා නැත. ඉදිරිය බැලීමෙහිදී පවත්නා රූප එහි ම නිරුද්ධ වෙයි. දෙපස බැලීමෙහිදී ඒවා නැත. පහත හෙළා තුබූ අතෙහි රූප එසවීමෙහි දී නැත. ඔසවා තුබූ අතෙහි රූප පහත හෙළීමේදී නැත. දිග හැර තුබූ අතේ හෝ පයේ රූප හකුළන කල්හි නැත, හකුළා තුබූ අතේ හෝ පයේ රූප දිග හළ අතේ හෝ පයේ නැත. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය.

තවත් සියුම් ලෙස අනිත්‍යතාව වැටහීම පිණිස ගමනෙහි එක් එක් පියවරක් එසවීමය, ඉදිරියට යැවීමය, එහා මෙහා යැවීමය, පහත හෙළීමය, බිම තැබීමය, බිමට තද කිරීමය කියා සකොටසකට බෙදා අනිත්‍යතාව බැලිය යුතු ය. එය පොළොවෙන් එසවීමෙහිදී ඇති වන්නේ පඨවි ආපෝ ධාතු මඳ, තේජෝ වායෝ ධාතු උත්සන්න රූප කලාපයෝ ය. පය ඉදිරියට යැවීම එහා මෙහා යැවීම කරන කල්හි ඇති වන්නේ ද එබඳු ම රූප කලාපයෝ ය. පය පහත හෙළීමේදී, තේජෝ වායෝ ධාතු මඳ වූ පඨවි ආපෝ ධාතු උත්සන්න වූ රූපකලාපයෝ ඇති වෙති. බිම තැබීම් බිමට තද කිරීම් දෙක්හි ද එබඳු ම රූප කලාප ඇති වේ. පය එසවීමේදී පැවති රූපයෝ එහිදී ම නිරුද්ධ වෙති. ඉදිරියට ගෙන යාමේදී ඒවා නැත. ඉදිරියට ගෙන යාමේදී පැවති රූප එහිදී ම නිරුද්ධ වේ. පය එහා මෙහා ගෙන යාමේදී ඒවා නැත. එහා මෙහා ගෙන යාමේදී පැවති රූප පහත හෙළීමේ දී නැත. පහත හෙළීමේ දී පැවති රූප පය බිම තැබීමේ දී නැත. බිම තැබීමේ දී පැවති රූප එහිදී ම නිරුද්ධ වේ. බිමට පය තද කිරීමේ දී ඒවා නැත. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝ ය. මේ කරුණු එසේ ම බව තේරුම් ගත් යෝගාවචරයා උසස් විදර්ශනා ඥානය ඇතියකු බව කිය යුතු ය.

මෙතෙකින් සාමාන්‍යයෙන් පඤ්චස්කන්ධයේ ම අනිත්‍යතාව ප්‍ර‍කාශ කර ඇත ද මෙය කියවන කියන ලද කරුණු සිතන පින්වතුන්ට ඒ කරුණුවලින් වඩා ප්‍ර‍කට වන්නේ රූපස්කන්ධයාගේ අනිත්‍යතාව පමණෙකි. එබැවින් වේදනා සඤ්ඤා සඞ්ඛාර විඤ්ඤාණ යන සතර නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව විශේෂයෙන් කිය යුතු ව ඇත්තේ ය. යෝගාවචරයන් විසින් ද සතර නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව වෙන වෙන ම තේරුම් ගත යුතු ය. ජාතියෙන් ජාතියට යෙමින් සුවදුක් විඳින ආත්මයක් නැතැයි යන හැඟීම ඇති වන්නේ නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව නො වැටහීම නිසා ය. ඒ ආත්ම සංඥාව අනිත්‍යසංඥාවට විරුද්ධ වූවකි. නිත්‍ය කිසියම් සංස්කාරයක් ඇතය යන සංඥාව ඇත්තහුගේ විදර්ශනාව අසම්පූර්ණය. ඒ හැඟීම ඇති තෙක් ඔහුට මඟ පල නො ලැබිය හැකිය. එබැවින්-

“සෝ වත භික්ඛවේ, භික්ඛු කිඤ්චි සඞ්ඛාරං නිච්චතෝ සමනුපස්සන්තෝ අනුලෝමිකාය ඛන්තියා සමන්නාගතෝ භවිස්සතීති නේතං ඨානං විජ්ජති. අනුලෝමිකාය ඛන්තියා අසමන්නාගතෝ සම්මත්තනියාමං ඔක්කමිස්සතීති නේතං ඨානං විජ්ජති. සම්මත්තනියාමං අනොක්කමමානෝ සෝතාපත්තිඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමිඵලං වා අරහත්තඵලං වා සච්ඡිකරිස්සතීති නේතං ඨානං විජ්ජති.”

(අ. නි. ඡක්කනිපාත)

යනු වදාළ සේක. එහි තේරුම:- “යම් භික්ෂුවක් කිසි සංස්කාරයක් නිත්‍ය දෙයක් ලෙස දක්නේ නම් අනුලෝමිකඛන්ති නම් වූ මඟපල ලැබීමට අනුරූප උසස් විදර්ශනාඥානයෙන් යුක්ත වන්නේ නො වේ. අනුලෝමික ඛන්ති නම් වූ උසස් විදර්ශනාඥානයෙන් යුක්ත නො වූයේ සම්මත්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගය නො ලබන්නේ ය. එය නො ලබන්නා වූ යෝගාවචර තෙමේ සෝවාන් ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ අර්හත් ඵලය හෝ නො ලබන්නේ ය” යනු යි.

නාමස්කන්ධයන් ම විශේෂයෙන් ආත්මසංඥාවට හේතු වන බැවින් හා ඒවා සම්බන්ධයෙන් ඇති වූ ආත්මසංඥාව දුරලීම දුෂ්කර බැවිනුත් නාමස්කන්ධන්ගේ අනිත්‍යතාව විශේෂයෙන් බැලිය යුතු ය. මතු දැක්වෙන කරුණු අනුව නාමස්කන්ධයන් ගේ අනිත්‍යතාව නැවත නැවත නුවණින් බැලීමෙන් කල්පනා කිරීමෙන් සාකච්ඡා පැවැත්වීමෙන් ඒවායේ අනිත්‍යතාවය තේරුම් ගැනීමට උත්සාහ කරත්වා!

සුඛවේදනාවය, සෝමනස්ස වේදනාවය, දුක්ඛ වේදනාවය, දෝමනස්ස වේදනාවය, උපේක්ෂා වේදනාවය යන වේදනා පස වේදනාස්කන්ධය ය. මටසිලුටු මෘදු ශරීරයන් හා වස්තූන් ද සැපදායක සුළං ආදිය ද ශරීරයේ සැපීමෙන් ඇති වන සනීපය මිහිර සුඛවේදනා නම් වේ. හොඳ ආහාර පාන වස්ත්‍ර‍ යාන වාහනාදිය ලැබීමෙන් ද, නෑ මිතුරන් මුණ ගැසීමෙන් ද, දැකීමට ප්‍රිය දෑ දක්නට ලැබීමෙන් ද, මිහිරි හඬ අසනු ලැබීමෙන් ද, මිහිරි සුවඳ ලැබීමෙන් ද, ගරු බුහුමන් ස්තුති ලැබීමෙන් ද, තත්ත්වය උසස් වීමෙන් ද, තවත් එබඳු කරුණුවලින් ද සිතට ඇති වන සැපය මිහිර සෝමනස්ස වේදනා නම් වේ. කළුගල් කැබෙලි වැනි තද රළු දේ හා තද ශීත තද උෂ්ණ ආදිය ශරීරයේ ගැටෙන කල්හි ඇති වන රිදුම දුක්ඛවේදනා නම් වේ. නෑයන්ගේ මිතුරන්ගේ මරණ, වස්තු විනාශ, බලාපොරොත්තු කඩවීම්, අවමන් ලැබීම් ආදියෙන් සිතෙහි ඇති වන රිදුම දෝමනස්ස වේදනා නමි. ඒ වේදනා සතරින් එකකුදු නැති අවස්ථාවන්හි සිතෙහි ඇති මධ්‍යස්ථ ස්වභාව උපේක්ෂා වේදනා නමි.

සිත් ඇති සත්ත්වයකුට වේදනාවකින් තොරව වෙසෙන අවස්ථාවක් නැත. එක් පුද්ගලයකුට එකවර වේදනා දෙකක් ද ඇති නො වේ. වේදනා පසෙන සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස වේදනා සතර ප්‍ර‍කට ය. උපේක්ෂා වේදනාව අප්‍ර‍කට ය. උපේක්ෂා වේදනාවව ඇති අවස්ථාව දැනෙන්නේ වේදනාවක් නැති අවස්ථාවක් සේ ය. එසේ දැනෙන සෑම අවස්ථාව ම උපේක්ෂා වේදනාව ඇති අවස්ථාව ලෙස සැලකිය යුතු ය. උපේක්ෂා වේදනාව ශාන්ත ය, සියුම් ය. එය අන් වේදනාවන් නැති බව අනුව තේරුම් ගත යුතු ය.

සුඛ ප්‍ර‍ත්‍යයන් ලත් කල්හි සුඛ සෝමනස්ස වේදනා පහළ වේ. ප්‍ර‍ත්‍යය නැති වූ කල්හි ද දුක්ඛ ප්‍ර‍ත්‍යයන් පහළ වූ කල්හි ද සුඛ සෝමනස්ස වේදනා නැති වේ. දුඃඛප්‍ර‍ත්‍යයන් පැමිණි කල්හි දුක්ඛදෝමනස්ස වේදනා පහළ වේ. සුඛ දුඃඛප්‍ර‍ත්‍යයන් නැති කල්හි උපේක්ෂා වේදනාව පහළ වේ. සුඛදුඃඛප්‍ර‍ත්‍යයන් පැමිණි කල්හි උපේක්ෂා වේදනාව නැති වේ. සුඛ දුක්ඛ වේදනා පහළ වේ. මෙසේ පහළ වී නැවත නැවත නැති වී යන බැවින් වේදනාස්කන්ධය අනිත්‍ය දෙයකි.

ලෝකයෙහි අනන්ත සත්ත්ව පුද්ගලයෝ ඇත්තාහ. ගස් ගල් ගෙවල් ආදි අනන්ත වස්තූහු ද ඇත්තාහ. සත්ත්වයන් පුද්ගලයන් විසින් සිදු කරන අනන්ත ක්‍රියා ඇත්තේ ය. ජලය ගැලීම් ගිනි ඇවිලීම් ගස් කඩා වැටීම් අතු කඩා වැටීම් ආදි ස්වභාව ධර්මයෙන් සිදු වන අනන්ත ක්‍රියා ද ඇත්තේ ය. ඒවා එකින් එක වෙන් වශයෙන් දැන ගන්නා වූ හැඳින ගන්නා වූ එක්තරා ස්වභාවයක් ඇත්තේ ය. එය එක්තරා චෛතසික ධර්මයෙකි. එයට ස්කන්ධ විභාගයේ දී කියන නම සංඥා යනුයි. එයට සාමාන්‍ය ලෝකයා ව්‍යවහාර කරන්නේ හැඟීම හැඳිනීම දැනීම සිතීම යන වචනයන් ය. හැඳින ගත යුතු, දැන ගත යුතු දේ අනුව සංඥා ද අනන්ත වේ. ඒ සංඥා රාශිය සංඥාස්කන්ධ නම් වේ.

මේ සංඥා රාශිය නැති නම් සත්ත්වයනට කිසිවක් කර කියා ගත නො හැකි ය. කිසිවක් හරියට දත නො හැකි ය. සත්ත්වයන් ඒ ඒ දේ කර ගනිමින් ලෝකයෙහි ජීවත් වන්නේ සංඥා ස්කන්ධයේ උපකාරයෙනි. මේ සංඥා රාශිය නො මැති නම් මවුපියන් සහෝදර සහෝදරියන් නෑයන් නො නෑයන් හැඳින ගත නො හැකි ය. සතුරන් මිතුරන් හැඳින ගත නො හැකි ය. ආහාරපාන වස්ත්‍ර‍ හැඳින ගත නො හැකි ය. ඒවා පිළියෙළ කර ගත නො හැකි ය. වාසස්ථාන පිළියෙළ කර ගත නො හැකි ය. තමාගේ අදහස සෙස්සන්ට නො කිය හැකි ය. එකකු කියන දෙය අනිකාට තේරුම් ගත නො හැකි ය. මෙකී සියල්ල ම සිදු වන්නේ සංඥාවන්ගේ උපකාරයෙනි. ඒ නිසා මේ සංඥාස්කන්ධය සත්ත්වයනට ඉතා ප්‍රයෝජනය. එ බැවින් ම ඒ සංඥා රාශිය ගැන ආත්ම සංඥාව ද ඇති වේ. අනේක සංඥා ඇත ද එක් පුද්ගලයකුට එක වරකට ඇති වන්නේ එක් සංඥාවකි. තවත් සංඥාවක් ඇති වන්නේ එය නිරුද්ධ වූ පසු ය. රූපයක් මුණ ගැසීමේ දී රූපසංඥාවක් ඇති වේ. ශබ්දයක් ඇසීමේ දී ශබ්දසංඥාවක් ඇති වේ. එකල්හි කලින් ඇති වූ රූපසංඥාව නැත. එසේ ඇති වී නැති වී යන බැවින් සකල සංඥාවෝ ම අනිත්‍යයෝ ය.

යාම් ඊම් කෑම් බීම් දීම් ගැනීම් ආදි ක්‍රියා සිදු කිරීමේ එක්තරා බලයක් සිත හා සම්බන්ධ ව ඇති වේ. එය චේතනා නම් වේ. එය ද එක්තරා චෛතසික ධර්මයෙකි. එය ප්‍ර‍ධාන සංස්කාරය ය. චේතනාවෙන් අන්‍ය වූ ලෝභ ද්වේෂ මෝහ මාන ඊර්ෂ්‍යා මාත්සර්ය මෛත්‍රී කරුණා ශ්‍ර‍ඬා ප්‍ර‍ඥාදි චෛතසික ධර්මයෝ ද සංස්කාරස්කන්ධයට අයත් වෙති. ඒවා ද වේදනා සංඥාවන් මෙන් ඇති වෙමින් ඒ ඒ වෙලාවේදී නැති වී යන බැවින් අනිත්‍යයෝ ය.

වේදනා සඤ්ඤා සඞ්ඛාර යන ස්කන්ධ තුන චෛතසිකයෝ ය. ශුඬ වූ සිත විඥානස්කන්ධය ය. එය චක්ඛුවිඤ්ඤාණ සෝතවිඤ්ඤාණ ඝානවිඤ්ඤාණ ජිව්හාවිඤ්ඤාණ කායවිඤ්ඤාණ මනෝවිඤ්ඤාණය යි සවැදෑරුම් වේ. ඇසට රූපයක් මුණ ගැසුණු කල්හි චක්ඛුවිඤ්ඤාණය ඇති වේ. කනට ශබ්දයක් පැමිණි කල්හි සෝතවිඤ්ඤාණය උපදී. සෝතවිඤ්ඤාණය ඇති කල්හි චක්ඛුවිඤ්ඤාණය නැත. මෙසේ ලැබෙන මුන ගැසෙන අරමුණු අනුව විඤ්ඤාණයන් ඉපද ඉපද නිරුද්ධ වී යන බැවින් විඥානස්කන්ධය අනිත්‍ය වන්නේ ය.

ඉතා වේගයෙන් ඉපද ඉපද බිඳි බිඳී යන රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන පඤ්චස්කන්ධයට අයත් නාම රූප ධර්ම රාශිය හැර මේ සත්ත්ව සන්තානයෙහි ස්ථිර වූ නිත්‍ය වූ අන් කිසිවක් නැත්තේ ය. මේ සංස්කාර ධර්ම රාශිය හැර ස්ත්‍රියක පුරුෂයෙක ළමයෙක තරුණයෙක මහල්ලෙක ගවයෙක අශ්වයෙක බල්ලෙක බළලෙක කියා සත්‍ය වශයෙන් ලැබෙන කිසිවක් නැත්තේ ය. ස්ත්‍රිය ය පුරුෂයා ය යනාදිය සංස්කාර සමූහයන්ට කියන නම් පමණෙකි.

ඉපද ඉපද බිඳි බිඳී යන මේ නාමරූප ධර්මයන් ගේ සැටි පොල්තෙල් පහනක දැල්වෙන ගිනි සිළුව අනුව තේරුම් ගත යුතු ය. පහනේ ගිනිසිළුව නිවෙන තුරු එක් දෙයක් සේ පෙනෙන නමුත් එය එක් දෙයක් නොව ගිනිසිළු පරම්පරාවෙකි. පහනෙහි ගින්න හටගන්නේ තෙල්වලිනි. ගිනිගත් තෙල ගින්න සමඟ ම අවසන් වන්නේ ය. එක් තෙල් බින්‍දුවකින් හටගන්නා ගින්න එකෙණෙහි ම ඒ තෙල් බින්‍දුව සමග ම අභාවයට යන්නේ ය. පහන් වැටියේ ගිනි දැල්වෙන තැනට මුලින් පැමිණ තුබූ තෙල සැණෙකින් දැල්වී ගිනිසිළුවත් සමඟ අභාවප්‍රාප්ත වේ. ඉන් පසු එතැනට නැවත පහනේ තුබූ තෙල් පැමිණෙන්නේ ය. පළමු ගින්න නිවී යනු සමඟ ම අලුතෙන් පැමිණි තෙලට ගිනි ගන්නේ ය. ඒ ගින්න එකෙණෙහි ම නිවෙයි. නැවත තෙල් එ තැනට පැමිණ අලුත් ගින්නක් හටගනී. පහනේ තෙල් ඇති තාක් මේ සිදුවීම නො නැවතී පවතී. මෙය අතරක් සලකා ගත නො හෙන පරිදි ඉතා වේගයෙන් සිදුවන නිසා පහන නිවෙන තුරු පවත්නා ගිනිසිළුව එකක් සේ පෙනේ. ජනයෝ ද එය එකක් සේ ම සලකති. රැයක් දැල්වෙන පහනක දෙවන පැයේ ඇත්තේ පළමුවන පැයේ තුබූ ගිනිසිළුව නො වේ. දෙවන විනාඩියේ ඇත්තේ පළමුවන විනාඩියේ තුබූ ගිනිසිළ නො වේ. දෙවන තත්පරයෙහි ඇත්තේ පළමුවන තත්පරයේ පැවති ගිනි සිළ නොවේ. ඇති වන ඇති වන අලුත් අලුත් ගිනි තත්පරයකුදු නො සිට නිවී යයි. මනුෂ්‍යයාගේ පඤ්චස්කන්ධය ද මේ ගිනි සිළුව බඳු වූ සංස්කාර පරම්පරාවෙකි.

ගිනිකූර ගිනිපෙට්ටියෙහි ගැසූ කල්හි ගින්නක් හටගනී. ඒ ගින්න ඊට කලින් ගිනිපෙට්ටියේ තුබුණේ ද නො වේ. ගිනිකූරෙහි තුබුණේ ද නො වේ. නිවුණු පසු අන් තැනකට යන්නේ ද නො වේ. ඒ ගින්න ගිනිපෙට්ටියෙහි ගිනිකූර ගැටීම හේතු කොට එතැන ම හට ගෙන එතැන ම නැති වන්නකි. එමෙන් සත්ත්ව ශරීරයේ පෙර නො තුබූ අලුත් අලුත් නාමරූප ධර්මයෝ ඒ ඒ ධර්මය ඉපදීමට අනුරූප ප්‍ර‍ත්‍යය ලද කල්හි ඉපිද එතැන ම බිඳී අතුරුදහන් වෙති. පළමු තුබූ සංස්කාරයන් බිඳී අතුරුදහන් වනු සමඟ ම අඩුවක් නො පෙනෙන පරිදි අලුත් සංස්කාරයෝ උපදිති. රූපයන් ගේ ඇතිවීම් නැතිවීම්වල අතරක් නො පෙනෙන බැවින් මේ ශරීරය එක් දෙයක් වශයෙන් වර්ෂ ගණනක් පවතින්නකැයි වරදවා තේරුම් ගනිති. ගස් වැල් කොළ මල් ගෙඩි පස් ගල් ආදි බාහිර වස්තූන්හි ද ඇති රූපයන්ගේ ඉපදීම බිඳීම සත්ත්වශරීරවල මෙන් ම සිදුවන බව තේරුම් ගත යුතු ය. බාහ්‍යාභ්‍යන්තරික සකල සංස්කාරයන්ගේ ම අනිත්‍යභාවය දැක ගත්, තේරුම් ගත් යෝගාවචර තෙමේ මඟපල ලැබීමට නිසි උසස් විදර්ශනාඥානය ඇත්තේ වේ. මෙසේ වූ උසස් විදර්ශනාඥානය අනුලෝමිකඛන්ති නම් වේ. උසස් විදර්ශනාඥානය ඇති කර ගත් යෝගාවචරයා විසින් තමා අනිත්‍ය වශයෙන් දක්නා පඤ්චස්කන්ධයා ගේ අනුත්පාද නිරෝධය ලෝකෝත්තර නිර්වාණධාතුව ය යි තමාගේ සිත නිවනට යොමු කළ යුතු ය. එසේ කිරීමෙන් ඔහුට ලෝකෝත්තර මාර්ගඥානය ලබා ආර්‍ය්‍ය පුද්ගලයකු විය හැකි වන්නේ ය.

“පඤ්චස්ඛන්ධෙ අනිච්චතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති. පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ නිච්චං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

(පටිසම්භිදාමග්ග)

“පඤ්චස්කන්ධය, අනිත්‍ය වශයෙන් දක්නේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප වූ විදර්ශනාඥානය ලබයි. පඤ්චස්කන්ධයාගේ අනුත්පාදනිරෝධය නිත්‍ය වූ නිර්වාණය යි දක්නා යෝගාවචර තෙමේ සම්මත්තනියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණේය” යනු එහි තේරුම ය.

උත්පන්න නිරෝධය අනුත්පාද නිරෝධය කියා නිරෝධ දෙකකි. උපදින උපදින සියලු ම සංස්කාරයෝ එකෙණෙහි දිරා අභාවයට පැමිණෙති. එය උත්පන්න නිරෝධය ය. අඹගසක් ඇති කල්හි එහි වර්ෂයක් පාසා බොහෝ මල්පල හටගනී. ඒවායින් තවත් අඹගස් හා අඹපල ඇති වේ. මෙසේ දීර්ඝකාලයක් අඹ පරම්පරාව පවතී. මුල් අඹගස විනාශ කළහොත් ඒ අඹ රුක නිසා මතු හටගන්නට ඇත්තා වූ මල්පල හා අඹගස් මතු කිසි කලෙක ඇති නො වන්නේ ය. එය එතෙක් ඇති නොවූ මතු ඇති විය හැකි අඹපලවල නැති වී යාමකි. ඇති නො වූ දේවල නැතිවීමක් බැවින් එය අනුත්පාද නිරෝධ නම් වේ. ගස විනාශ වීමෙන් නැති වී ගිය ඒ අනාගත අඹගස්වල අඹ පලවල අභාවප්‍රාප්තිය ස්ථිර වූවකි. එමෙන් නැවත නැවත සසර ඉපදීමට හේතු වන තණ්හාව මතු ඇති නො වන පරිදි ප්‍ර‍හාණය කළ හොත් එය හේතු කොට අනාගත සංසාරයෙහි ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ඇති විය හැකි සකල සංස්කාරයෝ ඇති නොවී ම නැති වෙති. එය ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ය. ඒ අනුත්පාද නිරෝධය වූ ශාන්ත ස්වභාවය ලෝකෝත්තර නිර්වාණය ය. ස්කන්ධ පරම්පරා නැතිවන්නාක් මෙන් එය කිසි කලෙක නැති නො වේ. ලෝකෝත්තර මාර්ගඵල ඇති වන්නේ අනුත්පාද නිරෝධ සඞ්ඛ්‍යාත ඒ අසඞ්ඛත ධාතුව අරමුණු කර ගෙනය.

2. දුක්ඛා

දෙවන භාවනා පදය

දුක් ඇතිවීමට හේතු වන බැවින් ද, දුක් ඇති වන ස්ථානය වන බැවින් ද සංස්කාරයෝ දුක්ඛයෝ ය.

දඬු මුගුරු ගල් ආයුධ ආදියෙන් පහර ලැබීම, ගල්මුල් ආදියෙහි සැපීම, තදශීත තදඋෂ්ණ ශරීරයෙහි සැපීම, සර්පාදීන් ගේ විෂ ශරීරයට කාවැදීම, වාතාදි දෝෂයන් කිපීම, ආහාරපාන නොලැබීම, අපථ්‍ය ආහාර ගැනීම යනාදියෙන් ශරීරයේ හටගන්නා රිදුම වූ දුඃඛ වේදනාවය: ධනහානිය, බලාපොරොත්තු සුන්වීම, නෑමිතුරන් මරණයට පත්වීම, වරද කෙළේය යි චෝදනා ලැබීම, නින්දා ලැබීම, අඹුදරුවන් අකීකරුවීම යනාදි කරුණුවලින් වන සිත රිදුම වූ දෞර්මනස්‍ය වේදනාවය යන මේ දෙක නියම දුක ය. ඇතැම් වේදනාවක් වඩා නපුරු නො වතුදු ඇතැම් දුඃඛ දෞර්මනස්‍ය වේදනා ඉතා නපුරු ය. ඒවාට පත් වූ පුද්ගලයෝ ඉවසිය නො හී කඳුළු වගුරුවමින් මහහඬ නඟමින් විලාප කියමින් හිසට ළයට තළා ගනිමින් හිස බිම ඇණ ගනිමින් බිම පෙරළෙමින් හඬති. බලවත් දොම්නස් නිසා ඇතැම්හු දිවි නසා ගැනීම පවා කරති. ඒ දුඃඛ දෞර්මනස්‍ය දෙක පඤ්චස්කන්ධයෙන් වේදනා ස්කන්ධයට අයත් වේ. සුඛ සෝමනස්ස උපේක්ඛා වේදනා දුක් වන්නේ කියන ලද දුඃඛ දෞර්මනස්‍ය වේදනා දෙක ඇති කරන බැවින් හා ඒවාට ස්ථාන වන බැවින් ය.

නාමරූප සඞ්ඛ්‍යාත සංස්කාරයන්ගේ අනිත්‍යතාව ම මහත් දුකෙකි. මිනිස්ලොව රජසම්පත් සිටුසම්පත් සේනාපති සම්පත් ආදිය ලබා පස්කම් සුව විඳිමින් වෙසෙන පුද්ගලයා ඒ අනිත්‍යතාව නිසා සම්පත්තියෙන් පිරිහේ. පරම රමණීය දෙව්විමන්වල දෙවඟනන් පිරිවරා දිවසැප විඳින පුද්ගලයා ඒ සම්පත්තියෙන් පිරිහේ. සම්පත්තියෙන් පිරිහීම දොම්නසට කරුණෙකි. මහත් සම්පත්තියෙන් පිරිහීම ඉමහත් දොම්නසකට හෙවත් මානසික දුඃඛයකට කරුණෙකි. මනුෂ්‍ය දේව ස්කන්ධ නො වී නම් ඒ දුක නො වන බැවින් එය ඇති වන්නේ ස්කන්ධයන් නිසා ම බව දත යුතු ය.

ඉපදීම බිඳීම යන දෙකින් ම සංස්කාරයෝ සත්ත්වයන් පෙළති. ශරීරයෙහි අහිත වූ රූප ඉපදීමෙන් හා පමණට වඩා රූප ඉපදීමෙන් වන්නේ ඉමහත් පීඩාවෙකි. ගෙඩි පිළිකා කුෂ්ඨ හටගැනීම, මොළයේ පෙණහල්ලේ කුසයේ වතුර පිරීම, නරක ලේ සෙම් පිත් ආදිය ඇති වීම, නො මනා රූපකලාප ඉපදීම ය. නොයෙක් රෝග හට ගන්නේ නො මනා රූපකලාප ඉපදීමෙනි. ශරීරයේ ලේ මස් ආදිය ක්ෂයවීම රූපයන්ගේ නිරෝධයෙකි. මෙසේ සංස්කාරයෝ ඉපදීම් නැසීම් දෙකින් ම පීඩා කෙරෙති. එබැවින් සංස්කාරයෝ දුක්ඛයෝ ය.

ශරීරයේ බිඳී යන රූප වෙනුවට අලුත් රූප කලාපයන් ඇති කර ගනු පිණිස දිනකට කීප වරක් ආහාරපාන ගැනීමට සිදුවේ. වරක් ගත් ආහාරයෙන් ඇති වන රූප පැය ගණනකදී බිඳී අතුරුදහන් වෙයි. ඒ නිසා නැවත නැවත ආහාර ගන්නට සිදුවේ. මෙය සත්ත්වයනට ඉවරයක් නො වන වැඩකි. ඉමහත් කරදරයෙකි. සංස්කාරයන්ගෙන් ඇති පීඩනය තේරුම් ගැනීමට තරම් නුවණ නැතියෝ අවිද්‍යාවෙන් අන්ධ ව වෙසෙන බැවින් ආහාරපාන වැළඳීම ලොකු සුවයකැයි සිතති. ආහාරපාන ගැනීම නිසා පරම අපවිත්‍ර‍ වූ මලමුත්‍ර‍වලින් ශරීරය පිරෙයි. එද ඉමහත් දුකෙකි. ඒවා පිටකර ශරීරය හිස් කර ගැනීමත් මහ දුකෙකි. ඒවා ශරීරයෙන් බැහැර කරගන්නට නො පිළිවන් වුවහොත් එයත් මහා දුකෙකි. ආහාර ගැනීම දුකෙකැයි කියා නො ගෙන සිටියහොත් වන්නේ ගැනීමෙන් වන දුකට වඩා සිය ගුණයෙන් මහත් වූ දුකෙකි. පඤ්චස්කන්ධය දරන්නහුට කවරාකාරයකින් වත් නිදහසක් නැත.

ආහාරපාන ගත යුතු නිසා ඒවා සැපයීම සඳහා ගොවිතැන් කළ යුතු ය. අන් රැකියාවක් හෝ කළ යුතු ය. ඒවාට බොහෝ වෙහෙසිය යුතු ය. එය මහත් දුකෙකි. අමාරුවෙන් කරන ගොවිතැන සමහර විටෙක වැස්සෙන් පාළු වෙයි. විටෙක වැසි නො ලැබීමෙන් පාළු වෙයි. සමහර විටෙක සතුන් නිසා පාළු වෙයි. සමහර විටෙක අස්වැන්න සොරු කපා ගනිති. ඒවායින් වන්නේ ද ඉමහත් මානසික දුඃඛයෙකි. ආහාරපාන ලබා ගැනීම සඳහා ධනය නැතිවීමෙන් සමහර විට සතුන් මරන්නට, සොරකම් කරන්නට, බොරු කියන්නට සිදුවේ. ඒවායින් මෙලොව පරලොව දෙක්හි ම අපමණ දුක් ඇති වේ.

වස්ත්‍ර‍ සැපයීම, වාසස්ථාන සැපයීම, යානවාහන සැපයීම, බෙහෙත් සැපයීම, අඹුදරුවන් පෝෂණය කිරීම, නෑමිතුරන්ට සඞ්ග්‍ර‍හ කිරීම, රජයට වැඩ කිරීම, වරින් වර ඇතිවන නොයෙක් ආසාවල් සපුරා ගැනීම ආදි තවත් කරදර රාශියක් පඤ්චස්කන්ධය නිසා ඇත්තේ ය. අවසානයක් නැති ව කරන්නට සිදුවන ඒ වැඩ කිරීමත් මහත් දුකෙකි. අවිද්‍යාවෙන් අන්ධ ජනයා ඒවාත් සැප සැටියට සලකති.

සැම විපතක් ම ඇත්තේ ඒවාට ඔරොත්තු නො දෙන දුබල පඤ්චස්කන්ධය ඇති නිසා ය. ජලය ගලා ගස්කොළන් නො පෙනෙන තරමට පොළොව වැසී යත හොත් මහ විපතෙකි. එය විපතක් වන්නේ ජලයට ඔරොත්තු නො දෙන දුබල පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධයක් නැති නම් කොතෙක් ජලය ගැලුව ද එය විපතක් නො වේ. බිඳකුදු ඉතිරි නො වී මුළු පොළොවේ ම ජලය නැති වී ගිය ද, මහපොළොව ගිනි ගත ද, ගස් ගල් පෙරළී යන සැඩ සුළං හැමුව ද, පොළොව සුනුවිසුනු වී ගිය ද, පරමාණු බෝම්බ ජලකර බෝම්බ පතිත වුව ද පඤ්චස්කන්ධයක් නැති නම් ඒවායින් ඇති විපතක් නැත. සැම විපතක් ම සැම දුකක් ම ඇත්තේ පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. දුක් ඇති වන ස්ථානයත් පඤ්චස්කන්ධය ය. ගස් ගල් ආදියෙහි හෝ අහෙසෙහි දුක්ය කියා දෙයක් ඇති නො වේ. දුකය කියා යමක් ඇති නම් ඒ සියල්ල ඇති වන්නේ පඤ්චස්කන්ධයෙහි ය. පඤ්චස්කන්ධයක් නැති නම් දුක් ඇති වන්නට තැනක් නැත. දුක් ඇති වන ස්ථානය වූ පඤ්චස්කන්ධය තිබීම ම දුකෙකි. නුවණැතියන් පඤ්චස්කන්ධයෙන් මිදී පඤ්චස්කන්ධයක් නැති නිවනට පැමිණෙන්නේ පඤ්චස්කන්ධය ම දුකක් වන බැවිනි.

ආකාශයෙහි ශීතවාත උෂ්ණවාත චණ්ඩවාත මන්දවාතාදි අනේකප්‍ර‍කාර වාතයන් ඇති වන්නාක් මෙන් මේ ශරීරයෙහි ද සුඛවේදනා සෝමනස්සවේදනා දුක්ඛවේදනා දෝමනස්සවේදනා උපේක්ඛාවේදනා යි අනේකප්‍ර‍කාර වේදනාවෝ උපදිති. ඒ වේදනාවන් අතුරෙන් දුක්ඛ දෝමනස්ස වේදනා දෙක්හි නපුර කවුරුත් දනිති. තිරිසන් සත්ත්වයෝ ද දනිති. සුඛ සෝමනස්ස වේදනා දෙක දුකක් බව, නපුරක් බව තේරුම් ගැනීම අපහසු ය. සත්ත්වයන් ඇලුම් කරන ප්‍ර‍ධාන දෙය සුඛ සෝමනස්ස වේදනා දෙක ය. ධනයට ඇලුම් කරන්නේ සුඛ සෝමනස්ස වේදනාවන් ඒවායින් ඇති කර ගත හැකි නිසා ය. අඹුදරු ආදීන්ට ඇලුම් කරන්නේ ද ඔවුන් නිසා ඒ සුඛ සෝමනස්සයන් ලැබෙන නිසා ය. දුඃඛස්කන්ධයක් වන තමාගේ පඤ්චස්කන්ධයට ඇලුම් කරන්නේ ද සුඛ සෝමනස්ස වේදනා සඳහා ම ය. කිසිදු සුවයක් නැතිව ම දුක් විඳිමින් වෙසෙන පුද්ගලයා පඤ්චස්කන්ධයට ඇලුම් කරන්නේ ද අනාගතයේ සුඛ සෝමනස්සයන් ගැන බලාපොරොත්තුවෙනි. කොතෙක් දුක් වින්දේ වී නුමුත් සුඛ සෝමනස්සයන් ගැන ඇති බලාපොරොත්තුව නිසා සත්ත්වයාට පඤ්චස්කන්ධය නපුරක් සේ නො වැටහේ. සත්ත්වයන්ගේ සම්මෝහය ඉතා අධික ව පවත්නේ සුඛ සෝමනස්සයන් ගැන ය. යෝගීන්ට ආශාව අත්හැරීමට දුෂ්කර වන්නේ සුඛ සෝමනස්සයන් ගැන ම ය. අවිද්‍යාවෙන් අන්ධ ව ධනයට හා දූ දරුවන්ටත් තවත් නොයෙක් දෙයටත් ආලය කරන පුද්ගලයෝ තමන් ආලය කරන්නේ ධනාදියට නො ව, තමන් කෙරෙහි ඇති වන සුඛ සෝමනස්සයන්ට ම බව නො දනිති. ඒ මුළාවත් තණ්හාව දුරු කිරීම දුෂ්කරවීමේ බලවත් හේතුවකි. තණ්හාව දුරු කිරීම දුෂ්කර වූ සුඛ සෝමනස්සයන්ගේ නපුර සෙවීමට යෝගාවචරයන් විශේෂයෙන් උත්සාහ කළ යුතු ය. සුඛ සෝමනස්සයන්ගේ තතු මතු දැක්වෙන පරිදි කල්පනා කරනු.

දුක්ඛ දෝමනස්සයන් ඇති කර ගැනීමට උත්සාහයක් නුවුමනා ය. ඒවා නිකම් ම ඇති වේ. ඒවා සම්බන්ධයෙන් ඇත්තේ ඒවායේ ඇති වීම නවත්වා ගැනීම සඳහා උත්සාහ කිරීම ය. සුඛ සෝමනස්ස වේදනා එසේ නිරුත්සාහයෙන් උපදින්නේ නො වේ. ලෝකයේ සැප යයි කියනුයේ ඒ වේදනා දෙකට ය. අවිද්‍යාව නිසා උසස් කොට සලකන ඒ සැපයට දෙපැත්තේ ඇත්තේ සංස්කාර දුඃඛ විපරිණාම දුක්ඛ යන දුක් දෙක ය. මිනිසාට ඔහු බලාපොරොත්තු වන සැපය ලැබියි හැකි වීමට බාලකාලයේ දී අවුරුදු ගණනාවක් සිප්සතර උගත යුතුය. එය මහත් දුකෙකි. රැකියාවක් සඳහා ඉගෙනගත් පසු බලාපොරොත්තු රැකියාව නො ලැබී යන්නේ ය. එද මහ දුකෙකි. රැකියාවක් ලද ද එය කිරීමත් මහ දුකෙකි. උගත්කම් නැතහොත් කරන්නට සිදුවන්නේ ගොවිකම් ආදී බර වැඩය. ගස් යාම, පතල් වැඩ, යුඬ භූමිවල වැඩ ආදී අන්තරාදායක වැඩ කරන්නට ද සිදු වේ. වැසිකිළි ශුද්ධකිරීම් ආදී පිළිකුල් වැඩ ද කරන්නට සිදුවේ. ඇතුන්ගෙන් වැඩ කරවීම් ආදී භයානක වැඩ ද කරන්නට සිදු වේ. ගොවිකම් ආදී ඇතැම් වැඩ කරන්නවුන්ට වෙහෙසීම පමණක් නොව, අව්වෙන් වැස්සෙන් පින්නෙන් සුළඟින් මැසි මදුරු ආදී සතුන්ගෙන් ද බොහෝ දුක් විඳින්නට සිදු වේ. ඇතැම් සැප ලැබීම සඳහා දුකින් සපයා ගත් බොහෝ ධනය වියදම් කරන්නට සිදුවේ. සමහර විට බලාපොරොත්තු ඉටු නො වීමෙන් කළ වියදමත් ගත් වෙහෙසත් නිෂ්ඵල වී පශ්චත්තාප වන්නට සිදු වේ. මේ සුඛ සෝමනස්ස වේදනාවන්ට පූර්වභාගයෙහි ඇති සංස්කාර දුඃඛය ය. ඉමහත් පරිශ්‍ර‍මයෙන් මහත් දුකින් ලබන්නා වූ ඒ සැපය දිගු කලක් පවත්නක් නො ව, සැණෙකින් නැති වන්නකි. අද වින්ද සුවයෙන් හෙට ඉතිරි වන කිසිවක් නැත. හෙටත් ඒ සැපය වුවමනා නම් ඒ සඳහා හෙටත් වියදම් කළ යුතු ය. හෙටත් වෙහෙසිය යුතු ය. කවරාකාරයකින් ලැබූ සැපයක් වුව ද නවත්වා ගත නො හැකි ය. සත්ත්වයන් උසස් කොට සලකන මේ සැපය ගන්නට යෑම, අතේ සැපි සැපී යන කිසිකලෙක ගත නො හෙන මැණිකක් ගන්නට උත්සාහ කිරීම බඳුය. එබඳු මැණිකක් ඇති නම් එයට ඇලුම් කොට එය ලුහුබැඳ මහත් වෙහෙසට හෝ මරණයට පත්වෙනවා මිස මැණික කිසිකලෙක නො ලැබේ. එමෙන් මේ සුඛයත් කිසිකලෙක කවරකුට වත් ලබා නවත්වා ගත හැකි නො වේ. සෑහීමකට පත්විය හැකි නො වේ. සැපය වුවමනා නම් සැමදාම වෙහෙසිය යුතු ය. ලැබු ලැබූ සැපය නැති වී යාමත් ලබන්නට නැවත නැවත වෙහෙසෙන්නට සිදුවීමත් සුඛයේ විපරිණාම දුඃඛය ය. මෙසේ අනේකාකාරයෙන් සත්ත්වයනට පීඩා කරන බැවින් සුඛ වේදනාවත් දුකකැයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ශාන්ත වූ උපේක්ෂා වේදනාව ද ලැබූවත් නො පවත්නා බැවින් දුකෙකි.

“සුඛා භික්ඛවේ, වේදනා දුක්ඛතෝ දට්ඨබ්බා. දුක්ඛ වේදනා සල්ලතෝ දට්ඨබ්බා. අදුක්ඛමසුඛා වේදනා අනිච්චතෝ දට්ඨබ්බා.”

(වේදනා සංයුක්ත)

යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇති පරිදි සුඛවේදනාව දුකක් වශයෙන් දත යුතු ය. දුඃඛ වේදනාව ශරීරයෙහි ඇණෙන හුලක් වශයෙන් දත යුතු ය. උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දත යුතු ය. එසේ දන්නා යෝගාවචරයා ධර්මය දක්නා පුද්ගලයෙක් වන්නේ ය.

වෘක්ෂලතාදි බාහිර සංස්කාරයන්හි දුඃඛවේදනාවක් ඇති නො වන නුමුත් යමකු ඒවාට ඇලුම් කරනවා නම් ඒවා නිසා ඔහුට දුක් ඇති වන බැවින් ද, සත්ත්වයන් පෙළන උදයව්‍යය දෙක වෙනසක් නැති ව බාහිර සංස්කාරයන්හිත් ඇති බැවින් ඒවා ද දුක් වශයෙන් සැලකිය යුතු ය. යම් යෝගාවචරයකුට ආභ්‍යන්තරික බාහ්‍ය සංස්කාරයන් අතර සුඛයක් වන, දුක නො වන එක සංස්කාරයකුදු ඇති සේ පෙනේ නම්, එතෙක් ඔහුගේ විදර්ශනාව සම්පූර්ණ වූයේ නො වේ. විදර්ශනාව සම්පූර්ණ වන්නේ සකල සංස්කාරයන් ම දුක් වශයෙන් පෙනෙන්නට වන් කල්හි ය. සකල සංස්කාරයන් ම දුක් ලෙස නැවත නැවත නුවණින් බලන යෝගාවචරයාට ඒ බැලීමෙන් ම සංස්කාර නිරෝධය වූ නිවන ම ඒකාන්ත සුඛය වශයෙන් පෙනී හෙතෙමේ ලෝකෝත්තර මාර්ග ඥානය ලබන්නේ ය.

“පඤ්චස්ඛන්ධෙ දුක්ඛතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ සුඛං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

(පටිසම්භිදාමග්ග)

“පඤ්චස්කන්ධය දුක් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට යෝග්‍ය වූ විදර්ශනා ඥානය ලබයි. ඒ පඤ්චස්කන්ධයාගේ නිරෝධය සුඛය වූ නිවන ය යි දක්නා යෝගාවචර තෙමේ සම්මත්තනියාම නම් වූ ලෝකෝත්තර මාර්ගය ලබාය” යනු එහි තේරුමය.

3. රෝගා

තුන්වන භාවනා පදය

කාශ ශ්වාස ජ්වර අතීසාරාදි රෝගයන් වන බැවින් ස්කන්ධයෝ රෝගයෝ ය. (ලෙඩය)

ස්කන්ධයන් රෝගයන්ට සමාන වන්නේ කරුණු දෙකකිනි. රෝගියකු මෙන් ප්‍ර‍ත්‍යයෙන් යැපිය යුතු වීම එක් කරුණෙකි. මූල රෝගය හෙවත් ප්‍ර‍ධාන රෝගය තවත් බොහෝ ව්‍යාධීන් ඇති කරන්නාක් මෙන් නොයෙක් දුක් කරදර ඇති කිරීම අනික් කරුණ ය.

ධර්මයෙන් ඈත් ව වෙසෙන අන්ධ පෘථග්ජනයන් තමන් මහබලවතුන්ය යි අවිද්‍යාව නිසා වරදවා තේරුම් ගෙන තමාගේ බලය ගැන මත් ව සිටින නුමුත්, රූප ස්කන්ධ සඞ්ඛ්‍යාත මේ කය ලොකු දෙයකට තබා වැස්සට පින්නට අව්වට පවා ඔරොත්තු නොදෙන මැසි මදුරුවන් විසින් පවා පීඩා කළ හැකි ඉතා දුබල දෙයකි. එය ආහාරපානාදියෙන් පෝෂණය නො කළ හොත් ආරක්ෂා නො කළ හොත් දින ගණනක් පවත්වා ගැනීම ද දුෂ්කර ය. එබැවින් මේ දුබල ශරීරය පණ ගැන්වීමට දිනපතා ආහාරපානයන් ඇතුළු කළ යුතු ය. වැසි සුළං ආදියෙන් ආරක්ෂා කිරීම පිණිස ගෙවල් තනා ඒවායේ තබා ගත යුතු ය. මැසි මදුරු ආදීන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා වස්ත්‍ර‍වලින් වසා තබා ගත යුතු ය. ජීවිත නාශක හේතූන් සත්ත්වයා වටේ ගණනක් නැති ව ඇත්තේ ය. ඒ නිසා මේ ශරීරය පත්තෑ ගෝනුසු ආදී කුඩා සතුන්ගෙන් ද බලු කැණහිල් ආදි නපුරු සතුන්ගෙන් ද ආරක්ෂා කළ යුතු ය. මිනිසාට ඇති නපුරු ම සතුරා මිනිසා ම ය. සමහරවිට හිමියාට බිරිය සතුරු ය. බිරියට හිමියා සතුරු ය. මාපියනට දරුවෝ සතුරු ය. දරුවන්ට මාපියෝ සතුරු ය. සහෝදරයන්ට සහෝදරයෝ ම සතුරු ය. නෑයන්ට නෑයෝ ම සතුරු ය. අසල්වැසියන්ට අසල්වැසියෝ සතුරු ය. පඤ්චස්කන්ධය පවත්වා ගැනීමට නම් ඒ සැම සතුරන්ගෙන් ම මේ පඤ්චස්කන්ධය ආරක්ෂා කර ගත යුතු ය. ඖෂධ ආහාරපානවලින් හා අහිත දෑ දුරු කිරීමෙන් රෝගියකු ආරක්ෂා කරන්නාක් මෙන් පඤ්චස්කන්ධය ආරක්ෂා කළ යුතු බැවින් එය මහා රෝගයෙකි.

පීනස, අර්ශස, දියවැඩියාව, රක්තවාතය ආදි කල් පවත්නා රෝගයෝ මූල රෝගයෝ ය. යම්කිසි මූල රෝගයක් ශරීරයෙහි පවත්නා කල්හි ඒ හේතුවෙන් හිසරදය, ක්ලාන්තය, ඇස්දැවිල්ල, කඳුළු ගැලීම, අත්පාවල හිරිය, රුදාව, බඩේ වාතය පිරීම, මලමුත්‍ර‍ සුදුසු පරිදි පහ නො වීම, ආහාර මැනවින් නො දිරීම, ආහාර අප්‍රියවීම ආදි බොහෝ රෝගයෝ වරින් වර ඇති වෙති. එමෙන් පඤ්චස්කන්ධය ඇති කල්හි ඒ හේතුවෙන් විටෙක සාගින්න ඇති වෙයි, විටෙක පිපාසාව ඇති වෙයි, විටෙක වාතය කිපීමෙන් වේදනා ඇති වෙයි, විටෙක පිත කිපීමෙන් විටෙක සෙම කිපීමෙන් නොයෙක් වේදනා ඇති වෙයි. විටෙක ලේ මඳ වීමෙන් විටෙක තවත් ධාතූන් හීනවීමෙන් වේදනා ඇති වේ, විටෙක ඇතැම් ධාතූන් අධික වීමෙන් වේදනා ඇති වේ. විටෙක ගත් ආහාරය අපථ්‍ය වීමෙන් වේදනා ඇති වෙයි. මෙසේ ශරීරය ඇති නිසා බොහෝ ආබාධයෝ වෙති. සිතෙහි ද වරෙක කෝපය ඇති වෙයි. වරෙක ශෝකය ඇති වෙයි. වරෙක බිය ඇති වෙයි. වරෙක සැක ඇති වෙයි. වරෙක දැඩි ආසාවල් ඇතිවෙයි. මෙසේ නොයෙක් දුක් කරදර ඇති කරන බැවින් පඤ්චස්කන්ධය ම රෝගයකි. බොහෝ රෝග ප්‍ර‍තිකාරයෙන් සුව කළ හැකි ය. පඤ්චස්කන්ධය නමැති මේ දරුණු රෝගය කිසිකලෙක සුව නො වන රෝගයෙකි. එබැවින් නපුරු ම රෝගය, නරක ම රෝගය පඤ්චස්කන්ධය යි කිය යුතු ය.

පඤ්චස්කන්ධෙ රෝගතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ ආරෝග්‍යං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

“පඤ්චස්කන්ධය රෝගයක් සේ දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල වූ උසස් විදර්ශනාඥානය ලබයි. පස්දෙනෙකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය නිරෝගී බව වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ සම්මත්තනියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයට බැසගනී ය” යනු එහි තේරුම ය.

4. ගණ්ඩා

සතර වන භාවනා පදය

ශරීරවල හටගන්නා ගෙඩි හා සමාන බැවින් ස්කන්ධයෝ ගණ්ඩයෝ ය.

ස්කන්ධයෝ තුන් ආකාරයකින් ශරීරයේ හටගන්නා ගෙඩිවිලට සමාන වෙති. ගෙඩිවල දැවිල්ල, පුපුරු ගැසීම, හුලකින් අනින්නාක් මෙන් වරින් වර ඇති වන කැක්කුම, පිහියකින් කපන්නාක් මෙන් ඇති වන කැක්කුම, පෙඩි කරන්නාක් මෙන් ඇති වන කැක්කුම, නො නැවතී දිගට ම පවත්නා කැක්කුම යන විවිධ කැක්කුම් ඇත්තේ ය. ගෙඩියක මෙන් පඤ්චස්කන්ධයෙහි ගණනක් නැති කැක්කුම් ඇත්තේ ය. උපනුපන් සංස්කාර එතැන ම සැණෙකින් බිඳි බිඳී අභාවයට යන පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත මේ සංස්කාර පුඤ්ජයෙහි බිඳී යන ඒවා වෙනුවට අලුත් සංස්කාරයන් ඇති කිරීම සඳහා ආහාරපාන බෙහෙත් සැපයීමේ මහා කරදරය, කොතෙක් ආහාරපාන ගත ද සාගින්න හා පිපාසය නැවත නැවත ඇතිවීමේ කරදරය, අපවිත්‍ර‍ ද්‍ර‍ව්‍යයන් උතුරන වැගිරෙන මේ රූපකය දිනකට වාර ගණනක් පිරිසිදු කිරීමේ කරදරය, රූපකය ආරක්ෂා කරනු පිණිස අලංකාර කරනු පිණිස වස්ත්‍රාභරණ සැපයීමේ කරදරය, වාසස්ථාන සැපයීමේ කරදරය, අඹුදරුවන් ඇතියන්ට ඔවුන් පෝෂණය කිරීමේ හා ආරක්ෂා කිරීමේ කරදරය, ධනය ඇතියන්ට ඒවා ආරක්ෂා කිරීමේ කරදරය, ධනය නැතියන්ට දුප්පත්කමේ කරදරය, ගල් මුල් ආදියෙහි සැපීමෙන් වන රිදුම්, වැටීමෙන් වන රිදුම්, සොර සතුරන්ගෙන් පහර ලැබීමෙන් වන රිදුම්, දියේ ගිලීමෙන් ගින්නෙන් දැවීමෙන් වන රිදුම්, උකුණු මකුණු ආදි කුඩා සතුන් කෑමෙන් වන රිදුම්, බලු සිවල් ආදීන් සැපීමෙන් වන රිදුම්, සර්පයන් දෂ්ට කිරීමෙන් වන රිදුම්, මාර්ග අනතුරු භූමිකම්පා ජලය ගැලීම් අකුණු වැදීම් ආදියෙන් වන රිදුම්, වුවමනා දෙය ලබා ගත නො හැකි වීම, තුබූ දෙය නැති වී යාම, බලාපොරොත්තු ඉටු නො වීම, අඹුදරුවන් අකීකරු වීම, ගෝලයන් අකීකරු වීම, නින්දා ලැබීම, නඩුහබවලට අසුවීම, අවමන් ලැබීම, අඹුදරුවන් රෝගාතුර වීම, ඔවුන් මරණයට පත්වීම, නෑයන් මිතුරන් මරණයට පත්වීම යනාදි නොයෙක් කරුණුවලින් වන සිත රිදුම් ද පඤ්චස්කන්ධයෙහි ඇති බැවින් ඒ පඤ්චස්කන්ධය භයානක ගෙඩියකි.

මතු වී ඒමය, පැසවීමය, පුපුරා යාමය යි ගෙඩියකට අවස්ථා තුනක් ඇත්තේ ය. සංස්කාරයන්ට ද හටගැනීමය, දිරීමය, බිඳී අතුරුදහන් වීමය යි තුන් අවස්ථාවක් ඇත්තේ ය. ඒ කරුණෙන් ද ස්කන්ධපඤ්චය ගෙඩියකැයි සැලකිය යුතු ය.

ගෙඩිවලින් කුණුලේ කුණුසැරව ගලන්නේ ය. පඤ්චස්කන්ධයෙහි ද චක්ෂුර්ද්වාරය-ශ්‍රෝත්‍ර‍ද්වාරය-ඝ්‍රාණද්වාරය-ජිහ්වාද් වාරය-කායද්වාරය-මනෝද්වාරය කියා කෙලෙස් නමැති අපවිත්‍ර‍ දැය ගලන සිදුරු සයක් ඇත්තේ ය. හොඳට ඇඳ පැළඳ සිටින පුද්ගලයකු හෝ හොඳ ගෙයක් හෝ වත්තක් කුඹුරක් හෝ රථයක් හෝ ඉන්ද්‍රිය සංවරයක් නැති පුද්ගලයකුගේ ඇසට හමු වූ කල්හි ඔහුගේ චක්ෂුස නමැති සිදුරෙන් ලෝභාදි ක්ලේශයෝ ගලා යති. හොඳ ඇඳුමකින් සිටින පුද්ගලයකු දුටු කල්හි මේ කොතරම් ලස්සන කොතරම් හොඳ ඇඳුමක් ද? මේ ජාතියේ ඇඳුමක් මාත් අඳින්නට ඕනෑය, මාගේ අසවලාට හෝ මේ ජාතියේ ඇඳුමක් අඳවන්න ඕනෑය කියා ඉන්ද්‍රියසංවරය නැති පුද්ගලයාගේ ඇසින් ලොභ නමැති ක්ලේශය ගලා යයි. පෙනේ ද මූ ඇඳ සිටින සැටි, මුන් ඉස්සරත් මෙහෙම ඇන්දා ද යනාදීන් ද්වේෂ ඊර්ෂ්‍යා නමැති ක්ලේශයෝ ගලා යති. හොඳ ගෙවල් වතු කුඹුරු ආදිය දැකීමෙහිදී ද එසේම කෙලෙස් ගලා යන සැටි තේරුම් ගත යුතු ය. ශ්‍රෝත්‍රාදී ද්වාරයන්ගෙන් කෙලෙස් ගැලීමත් කියන ලද ක්‍ර‍මය අනුව සිතා ගත යුතු ය. කෙලෙස් නමැති අපවිත්‍ර‍ දෙය ගලන තැනක් වන බැවින් පඤ්චස්කන්ධය පැසුණු ගෙඩියකි.

පඤ්චස්ඛන්ධෙ ගණ්ඩතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අගණ්ඩං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.

(පටිසම්භිදාමග්ග)

“ස්කන්ධයෝ පස්දෙන ගෙඩි ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගය ලැබීමට අනුරූප විදර්ශනා ඥානය ලබා ය, පස්දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාදනිරෝධය ගෙඩියක් නො වන නිවනයයි දක්නා තැනැත්තේ ලෝකෝත්තර මාර්ගයට පැමිණේය” යනු එහි තේරුම ය.

5. සල්ලා

පස්වන භාවනා පදය

ස්කන්ධයෝ ශරීරයට ඇතුළු වී ඇති ගලවා දැමීමට දුෂ්කර හුල් ය.

ශරීරයට ඊයක් බඳු හුලක් ඇතුළු ව ඇත්තේ නම් ඒ හුල ඉවසීමට දුෂ්කර ඉතා නපුරු රිදුමක් නිරන්තරයෙන් ම ඇති කරන්නේ ය. එය ගලවන්නට තැත් කළ හොත් වඩාත් දරුණු රිදුමක් ඇති කරන්නේ ය. එ බැවින් හුල ගලවා දැමීමත් අතිදුෂ්කරය. ඇති වූ සැටියේ ම අතරක් නැවතීමක් නැති ව දිරා බිඳී යන නාමරූපයෝ ඒවා මම ය කියා ද මාගේ ය කියා ද සලකන්නහුට සංස්කාරදුඃඛය, විපරිණාමදුඃඛය, දුඃඛදුඃඛය යන තෙවැදෑරුම් දුකින් ශරීරයට පිවිස ඇති හුලකින් මෙන් නිරතුරුව රිදුම් ඇති කරන්නාහ. එ බැවින් ස්කන්ධයෝ හුල් වැනි වෙති. නිතර රිදවනවාය කියා ඒ පඤ්චස්කන්ධය ඉවත් කළ හැක්කේ ද නොවේ. එබැවින් පඤ්චස්කන්‍ධය ශරීරයට පිවිස ඇති ගලවා දැමිය නොහෙන හුලකැයි කියනු ලැබේ.

පඤ්චස්කන්ධයට අයත් ධර්මයන් අතුරෙන් අභ්‍යන්තරයෙහි සිට ඉතා දරුණු අන්දමින් රිදවන්නෝ රාගාදි ක්ලේශයෝ ය. ඒවා පඤ්චස්කන්ධයෙන් සංස්කාරස්කන්ධයට අයත් ය. ඒවායින් ද ඉතා දරුණු අන්දමින් රිදවන ධර්මය බලවත් ලෝභය හෙවත් රාගය ය. බලවත් රාගය ඇති වූ කල්හි එයින් වන පීඩනය රිදුම නිසා ඇතමුන්ගේ ශරීර ඉතා දුබල වේ. ඇතැම්හු රෝගී වෙති. ඇතැම්හු උම්මන්තක වෙති. ඉවසිය නො හැකිවීමෙන් ඇතැම්හු දිවි නසා ගනිති. රාග නමැති හුලේ දරුණුකම මේ කථාවෙන් දත යුතු ය.

එක් කලෙක බරණැස් නුවර වැසියෝ සැණකෙළියක් පැවැත්වූහ. නගරය, දේවනගරයක් මෙන් සැරසූහ. සැම දෙන ම සැණකෙළියෙහි යෙදුණෝ ය. එහි එක් දුප්පත් මිනිසකුට හැඳිවත හැර අතිරේක වශයෙන් තිබුණේ දළ සුදු රෙදි දෙකක් පමණෙකි. ඔහු ඒ රෙදි දෙක හොඳින් අපුල්ලවා සියගණනක් රැළි සිටින සේ නමා තැන්පත් කරගෙන සිටියේය. සැණකෙළි දිනවලදී ඔහුගේ බිරිය හිමියා අමතා “හිමියනි, රතුවතක් හැඳ රතුවතක් පොරවා ඔබගේ කර අත ලා ගෙන එක් රැයක් සැණකෙළියේ ඇවිදින්නට ආසාව ඇත්තෙමි” යි කීවා ය. “සොඳුර, දුප්පත් අපට රතු රෙදි කොයින් ද? සුදු රෙදි හැඳ පොරවා සැණකෙළියෙහි ඇවිදින්නය” යි හිමියා කීවා ය. එකල්හි හිමියා “සොඳුර, දුප්පත් මට කුමට කරදර කරන්නෙහි ද, අපි රතුරෙදි කෙසේ ලබන්නෙමුදැ”යි කීය. එකල්හි බිරිය “හිමියනි, පිරිමියකුට ඕනෑ නම් නැත්තේ කුමක් ද? රජුගේ රෙදි ගබඩාවෙහි බොහෝ වස්ත්‍ර‍ ඇත්තේ නො වේ දැ”යි කීවා ය. “සොඳුර, එතැන රකුසන් අරක්ගත් පොකුණක් වැනිය. බලවත් ආරක්ෂා ඇත්තේ ය. එහි යන්නට නො පිළිවන. තී මා නසන්නට තැත් නො කරව, අපට ඇති සැටියට සතුටු වන්නැ”යි සැමියා කීය. “හිමියනි, ඔබට බැරි කිමද? පිරිමියකුට රාත්‍රිකාලයේ යා නො හෙන තැනක් ඇද්දැ”යි බිරිය කීවා ය. ඒ අසරණ දුගී මිනිසා ප්‍රේමය යි වර්ණනා කරනු ලබන මහානර්ථකර රාගය දුරු කර ගත හැකි නො වී, බිරිය සතුටු කරවනු පිණිස රාත්‍රීකාලයේ දී ඒ මාරක ගමන ගියේය. මුරකරුවෝ ඔහුගේ ශබ්දය අසා සොරෙක! සොරෙක!! කියා කෑගසා වට කොට ඔහු අල්ලා බැණ වැදී හොඳට ම ගුටි බැට දී බැඳ තබා පසුදින රජුට දැක්වූහ. රජ තෙමේ ඒ අසරණයා උල තබා මරා දමන්නට අණ කෙළේ ය. වධකයෝ ඔහු බැඳ වදබෙර ගසමින් නගරයෙන් පිටතට ගෙන ගොස් උල හිඳ වූහ. ඔහු දිවි නො තකා මේ මාරක ගමන ගියේ ඔහු තුළට පිවිස තුබූ රාගය නමැති හුලෙන් ඇති කරන රිදවීම ඉවසිය නො හෙන නිසා ය. ඇද දැමීමට දුෂ්කර වූ රාග නමැති හුල මරණය තෙක් ඔහුට දුරලිය හැකි නො වී ය. උල තබා සිටි ඒ අසරණයාගේ ඇස්වලට කපුටෝ කොටන්නට වූහ. එකල්හි ඒ පුරුෂ තෙමේ “මට මේ උලෙහි ඇමිණී සිටීමත් දුකක් නො වේ, කපුටා ඇසට කෙටීමත් දුකක් නො වේ, අනේ මට ඇති දුක නම් ප්‍රියාවට රතු රෙදි හඳව ගෙන ඇය හා සැණකෙළියේ ඇවිදින්නට නො ලැබීමය”යි විලාප කියමින් මැරී අපායෙහි උපන්නේ ය. මේ ජාතක පොතේ කතාවෙකි. රාග නමැති හුලේ නපුර දැක්වෙන මෙවැනි බොහෝ කතා බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ඇත්තේ ය.

ද්වේෂයත් නපුරු හුලෙකි. ද්වේෂ නමැති හුල ළයෙහි හැනී සිටි කල්හි එයින් වන රිදුමත් බරපතලය. ඇතැම් දරුවන් මාපියන් හා තරහවී ගම රට හැර පලා යන්නේත්, දිවි නසා ගන්නේත්, සැමියන් හා තරහ වී බිරියන් දිවි නසා ගන්නේත්, බිරියන් හා තරහ වී සැමියන් දිවි නසා ගන්නේත් ද්වේෂ නමැති හුලෙන් කෙරෙන රිදවීම ඉවසිය නො හැකි වීමෙනි. රාග ද්වේෂ දෙකින් අන්‍ය ක්ලේශයන්ගේ ද හුලකින් මෙන් රිදවීම ඇත්තේ ය. ඒවායේ රිදවීම ගැන ද යෝගාවචරයෝ කල්පනා කෙරෙත්වා! ග්‍ර‍න්ථය මහත්වන බැවින් මෙහි විස්තර නො කරමු.

පඤ්චක්ඛන්ධෙ සල්ලතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ විසල්ලං නිබ්බානන්ති පස්සන්තෝ සම්මතනියාමං ඔක්කමති.

(පටිසම්භිදා වග්ග)

පඤ්චස්කන්ධයන් ශරීරයට කා වැදී ඇති හුලක් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල විදර්ශනා ඥානය ලබයි. පඤ්චස්කන්ධයන්ගේ නිරෝධය හුල් වලින් තොර වූ නිවන යයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට පැමිණේ.

6. අඝා

සවන භාවනා පදය

ස්කන්ධයෝ පාපයෝ ය.

පාපය සැම නපුරක් ම සැම දුකක් ම සිදු කරන බැවින් බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් පිළිකුල් කරන ලද්දකි. නින්දා කරන ලද්දකි. දුරු කරන ලද්දකි. පාපය සේ ම ස්කන්ධයෝ ද බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් ගර්හා කරන ලද්දෝ ය.

“රූපං භික්ඛවෙ, ආදිත්තං, වේදනා ආදිත්තා, සඤ්ඤා ආදිත්තා, සඞ්ඛාරා ආදිත්තා, විඤ්ඤාණං ආදිත්තං” “මහණෙනි, රූපය ගිනි ඇවිළ ගත්තක, වේදනාව ගිනි ඇවිළ ගත්තක, සංඥාව ගිනි ඇවිළ ගත්තක, සංස්කාරයෝ ගිනි ඇවිළ ගත්තෝය. විඤ්ඤාණය ගිනි ඇවිල ගත්තකැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ස්කන්ධයෝ ගර්හා කරන ලද්දෝ ය.

“භාරා හවෙ පඤ්චක්ඛන්ධා” පඤ්චස්කන්ධය මහබරකැයි ද වදාරා ඇත්තේ ය. මාරයාත් මරනු ලබන්නාත් මැරෙන්නාත් පඤ්චස්කන්ධය බව ද වදාරා ඇත්තේ ය.

“ඵෙණපිණ්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා

මරීචිකූපමා සඤ්ඤා සඞ්ඛාරා කදලූපමා

මායූපමඤ්ච විඤ්ඤාණං දීපිතාදිච්චබන්ධුනා”

යනුවෙන් රූපස්කන්ධය පෙණ පිඩක් වැනි බවත්, වේදනාස්කන්ධය දිය බුබුලක් වැනි බවත්, සංඥාස්කන්ධය මිරිඟුවක් වැනි බවත්, සංස්කාරස්කන්ධය කෙසෙල් කඳක් වැනි බවත්, විඥානස්කන්ධය මායාවක් වැනි බවත් වදාරා ඇත්තේ ය. මෙසේ ස්කන්ධයෝ පාපය සේ බුද්ධාදි ආර්යයන් විසින් ගර්හා කරන ලද්දෝ ය. එබැවින් ස්කන්ධ පඤ්චකය පවකැ යි ද කියනු ලැබේ.

සොර සතුරන්ගෙන් පහර ලැබීම, නො කළ වරදරවලට අසුවීම, සිරගෙවලට වැටීම, අපායේ වැටීම ආදි යම් නපුරක් අවැඩක් ඇත්තේ නම් ඒ සියල්ල ම ඇත්තේ පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධයක් නැතහොත් කිසි නපුරක් කිසි අවැඩක් වන්නේ නැත. එබැවින් මේ පඤ්චස්කන්ධය අඝයෙකි. හෙවත් පවකි. පව්ය කියා යමක් ඇත්තේ නම් ඒ සියල්ල ඇති වන්නේත් පඤ්චස්කන්ධයෙහි ය.

“පඤ්චක්ඛන්ධෙ අඝතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අනඝෝ නිබ්බානන්ති පස්සන්තෝ සම්මතනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධය පාපයක් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ නිරෝධය පව්වලින් තොර වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

7. ආබාධා

සත්වන භාවනා පදය.

රූපාදි ස්කන්ධයෝ ආබාධයෝ ය.

ශීර්ෂාබාධ, හෘදයාබාධ, උදරාබාධාදි ආබාධ ඇත්තහුගේ ශරීරය වැසි, පිනි, සුළං ආදියට ඔරොත්තු නොදෙන බැවින් ඔහුට රිසි සේ හැසිරීමට, රිසි සේ කෑමට බීමට, ගමන් යාමයට, වැඩ කිරීමට ඉඩක් නැත. ආබාධ උත්සන්න වී ඇත්තේ නම් ඔහුට හිඳ ගැනීම, නැගිටීම, යාම යන මේවා ද නො කළ හැකිය. ශීර්ෂාබාධාදි විශේෂ ආබාධයක් නැත ද රූපස්කන්ධ සඞ්ඛ්‍යාත මේ කය දුබල බැවින් රෝගියකු සේ ශරීරය මෙන්ම වැසි, සුළං ආදියට ඔරොත්තු නො දෙන්නේ ය. සෑම ආහාරයක් ම ඔරොත්තු නො දෙන්නේ ය. සෑම වැඩකට ම ඔරොත්තු නො දෙන්නේ ය. ශරීරය ආත්මය කරගෙන සිටින්නහුට එය පවත්වා ගත හැකි වන්නේ පරෙස්සම් කළහොත් ය. ශරීරය පරෙස්සම් කිරීමේ කරදරය එය ආත්මය කර ගෙන සිටින්නහුට සෑම කල්හි ම ඇත්තේ ය. එබැවින් රූපස්කන්ධය ආබාධයෙකි. මේ රූපස්කන්ධය අනුන් විසින් නැගිටවන, ගමන් කරවන, කවන, පොවන රෝගියකුගේ ශරීරය සේ ම අතිදුබල ය. එයට නැඟී ගිය හැකි, යා හැකි ශක්තියක් නැත. ශරීරය ක්‍රියා කරන්නේ ආහාරයේ බලයෙනි. ආහාර නො ලද හොත් ශරීරය මහා රෝගියෙකි. පණ ගැන්වීම සඳහා රූපස්කන්ධයට ආහාර සැපයීමේ කරදරය සැම කල්හි ඇත්තේ ය. එය රූපස්කන්ධය නිසා ඇති ඉමහත් පීඩාවය. නිරන්තරයෙන් පීඩා කරන බැවින් රූපස්කන්ධය මහා ආබාධයෙකි. ශීර්ෂාබාධාදි දුක් දෙන ආබාධ, රූපස්කන්ධයක් නැති නම් නො හට ගන්නේ ය. නොයෙක් හේතූන් ගෙන් ආබාධ ඇති වෙතැ යි කියතත් රූපස්කන්ධයක් නැත හොත් ආබාධයක් නැත. රූප ස්කන්ධය ම ආබාධ ඇතිවීමේ ප්‍ර‍ධාන හේතුව ය. එබැවින් රූපස්කන්ධය ම මහා ආබාධයකැයි කිය යුතු ය.

පඤ්චක්ඛන්ධෙ ආබාධතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අනාබාධං නිබ්බානන්ති පස්සන්තෝ සම්මතනියාමං ඔක්කමති.”

පස්දෙනකුන් වූ ස්කන්ධයන් ආබාධ වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාදනිරෝධය ආබාධ නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගය ලබයි.

8. පරේ

අටවන භාවනා පදය.

අකීකරු බැවින් ස්කන්ධයෝ පරයෝ ය.

මම ය කියා, තමා ය කියා සලකන පඤ්චස්කන්ධය හැර සෙස්සෝ පරයෝ ය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් මම ය කියා සලකන පඤ්චස්කන්ධය ද, අපේ අය ලෙස සලකන දූ දරු ආදීන් ද හැර සෙස්සෝ පරයෝ ය. තමා ද නො වන තමා හා සම්බන්ධයක් නැති තමා ගේ කැමැත්තේ සැටියට නො හැසිරෙන තමා ගේ කැමැත්ත පරිදි හැසිරවීමට නො පුළුවන් තමාට හිත නො වූ පුද්ගලයන් පරයෝ ය. මම ය කියා, තමා ය කියා සැලකිය යුත්තේ සැම කල්හි තමා ගේ කැමැත්ත අනුව පවතින, තමාගේ කැමැත්ත අනුව පවත්වා ගත හැකි තමාට හිත දෙයකි. යමක් තමා ගේ කැමැත්ත අනුව නො පවතිනවා නම් පැවැත්වීමට නො පුළුවන් නම් ඒ දෙය මම ලෙස තමා ලෙස සැලකීමට සුදුසු නැත. මාගේ අයය කියා සැලකිය යුත්තේ ද තමාගේ කැමැත්ත අනුව හැසිරෙන, හසුරුවා ගත හැකි තමාට හිත පුද්ගලයන් ය. පඤ්චස්කන්ධයෙහි ඇත්තේ මමය කියා පිළිගත යුතු දෙයක් හෝ මාගේ කෙනකැයි සැලකිය යුතු පුද්ගලයකු ගේ හෝ ලක්ෂණ ද, නැත හොත් පරයකු ගේ ලක්ෂණ දැයි විමසිය යුතු ය.

සැම දෙන ම ලස්සන වීමට ලස්සනට සිටීමට කැමැත්තෝ ය. එහෙත් මම ය, මාගේය යි සලකන මේ රූපය කර්මාදි හේතූන් අනුව ඇති වන සැටියකට ඇති වෙනවා මිස පුද්ගලයා ගේ ඕනෑකම අනුව ලස්සනට ඇති වන්නේ නො වේ. ලස්සනට පවතින්නේ නො වේ. ලස්සන වීමට ආශා කරන ඇතැම්හු ඉතා කැත ය. සාමාන්‍යයෙන් සැම දෙනා ගේ ම ශරීර කැත ය. මිනිසුන් ඇඳුම් අඳින්නේ අබරණ පළඳින්නේ ඒ කැත වසා ගැනීම පිණිස ය. පඤ්චස්කන්ධය සත්‍ය වශයෙන් ම මම වේ නම් එය තමා ගේ කැමැත්ත පරිදි පැවැත්විය හැකි විය යුතු ය. එසේ නො ව්නේ එය මම නොව පරයකු වන බැවිනි.

නිරෝගීව විසීමට හැම දෙන ම කැමැත්තෝ ය. ශරීරය පුද්ගලයා ගේ අදහසට අනුව නිරෝගීව නොසිට නොයෙක්විට රෝගාතුර වන්නේ ය. ශරීරය දුබල නො වී ශක්තිමත් ව තිබෙනවාට සැම දෙනා ම කැමැත්තෝ ය. එහෙත් පුද්ගලයා ගේ කැමැත්ත පරිදි නො පැවතී, එය දුබල වන්නේ ය. ශරීරය තරුණ භාවයෙන් තබා ගැනීමට සැම දෙන ම කැමැත්තෝ ය. එහෙත් පුද්ගලයන් ගේ කැමැත්ත පරිදි එය නො පවත්නේ ය. දිනෙන් දින ම දිරන්නේ ය. කළුවට තුබූ හිසකේ සුදු වෙයි. පැහැපත් ව තුබූ සම රැලි ගැසී කොරල පිපී සුදු කළු ලප ඇති වී කැත වෙයි, ඉන්ද්‍රියයෝ දුබල වෙති. එකින් එක දත් ගැලවෙන්නට පටන් ගනී. දුබල වී සැරමිටියේ පිහිට සොයන්නට සිදු වේ. ශරීරය පවිත්‍ර‍ ව තිබෙනවාට සැම දෙන ම කැමති ය. එහෙත් එය නිතර ම ඩහදිය මළ මුත්‍රාදියෙන් අපවිත්‍ර‍ වේ. සුඛයට සොම්නසට සැමදෙන ම කැමැත්තෝ ය. එහෙත් ඒ කැමතිවන සුඛය සොම්නස ඔවුනට රිසි සේ නො ලබා ගත හැකි ය. ලැබුව ද පවත්වා ගත නො හැකි ය. දුකට දොම්නසට සත්ත්වයෝ නො කැමැත්තෝ ය. එහෙත් ඒ නො කැමති දුක හා දොම්නස ඔවුන් කරා නිතර එන්නේ ය. සත්ත්වයෝ ජීවත්වීමට කැමැත්තෝ ය. මරණයට නො කැමැත්තෝ ය. ස්කන්ධයෝ කැමැත්ත පරිදි ජීවත් නො වී නො කැමති තත්ත්වය වූ මරණයට පැමිණෙති. මෙසේ මම ය මාගේ ය යි සලකන පඤ්චස්කන්ධය තමා ගේ කැමැත්තේ සැටියට නො පවත්නා බැවින් නො කැමති පරිදි ම පවත්නා බැවින් ඒ පඤ්චස්කන්ධය තමා හෝ තමා අයත් දෙයක් හෝ නො වන බැවින් පරයෙකි, අනිකෙකි. මම ය මාගේ ය යි සලකන මේ පඤ්චස්කන්ධය සත්ත්වයාට සැපයක්, වාසියක් ඇති කර දෙන, තමන් ගේ එකෙක් නො වේ. මිතුරෙක් නො වේ. සැපය වුවමනා නම් එය මහන්සි වී ලබාගත යුතු ය. පඤ්චස්කන්ධයෙන් නිකම් ම සැපයක් නැඟ එන්නේ නො වේ. පඤ්චස්කන්ධය විශේෂයෙන් රූපස්කන්ධය සත්ත්වයනට දුක් කරදර ඇති කරන සතුරෙකි. සත්ත්වයාහට රූපස්කන්ධයෙන් නිතර ම ඇති කර දෙන්නේ දුක් ය, රිදුම් ය. නිකම් ම ඉන්නා කල්හි හිසෙහි රිදුම් ඇති වේ. කන්වල, දත්වල, තොල්වල, විදුරුමස්වල රිදුම් ඇති වේ. උගුරෙහි, පපුවෙහි, බඩෙහි, තුනටියෙහි, පිටෙහි, කසළ මඟෙහි, අණ්ඩකෝෂයෙහි රිදුම් ඇති වේ. නොයෙක් තැන්වල ඇට, මස්, නහරවල රිදුම් ඇති වේ. බඩගිනි වේදනා පිපාසා වේදනා ඇති වේ. නොයෙක් කරුණුවලින් අපමණ දෝමනස්ස වේදනා ඇති වේ. මේ සියල්ල සත්ත්වයනට පඤ්චස්කන්ධයෙන් ඇති කර දෙන දුක් වේදනා ය. මේ දුක් වළක්වා ගැනීම සඳහාත්, ශරීරය පවත්වා ගැනීම සඳහාත් ආහාරපාන, බෙහෙත් සැපයීමට බොහෝ වෙහෙසිය යුතුය. වස්ත්‍ර‍ සැපයීමට බොහෝ වෙහෙසිය යුතු ය. ගෙවල් තනා ගැනීමට බොහෝ වෙහෙසිය යුතු ය. අඹුදරුවන් පෝෂණය කිරීම සඳහා බොහෝ වෙහෙසිය යුතු ය. ඒ කරදර සියල්ල ඇතිකර දෙන්නේත් පඤ්චස්කන්ධය ය. කරුණු මෙසේ හෙයින් ස්කන්ධයෝ තමා හෝ තමා ගේ අය නො වන පරයෝ යයි දත යුතු ය.

“පඤ්චක්ඛන්ධෙ පරතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අපරපච්චයං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පස්දෙනකුන් වූ ස්කන්ධයන් පරයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල විදර්ශනා ඥානය ලබයි. පස්දෙනෙකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාදනිරෝධය පරප්‍ර‍ත්‍යය රහිත නිර්වාණය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

9. පලෝකා

නව වන භාවනා පදය.

ස්කන්ධයෝ කොටසින් කොටස විනාශ වන ස්වභාවය ඇත්තෝ ය.

මහ ජලගැලුම්වලදී දුබල වූ ගං ඉවුරු වැව්කණ්ඩි වැලිකඳු පස්කඳු කොටසින් කොටස බිඳී යන්නාක් මෙන් තද සුළඟට අසු වී ගස්වල අතුරිකිලි බිඳී යන්නාක් මෙන් ගින්නට අසු වූ විට ගෙවල් දැවී යන්නාක් මෙන් රූපස්කන්ධ සඞ්ඛ්‍යාත මේ ශරීරය ද කොටසින් කොටස සිඳී යන විනාශ වී යන ස්වභාවය ඇතියකි. නොයෙක් අනතුරු වලින් ශරීරයේ ඇස් කන් නැති වී යයි. ගණ්ඩකුෂ්ඨාදි රෝගවලින් සම් මස් ලේ නැති වී යයි. වැටීම් පහර වැදීම් වලින් ඇට සිඳීයයි. කන් නාස් සිඳෙයි. ඇඟිලි අත් පා සිඳෙයි. ශරීරය කොටස් වශයෙන් තැළී පොඩි වී යයි. ගින්නෙන් දැවී යයි. ආවුධවලින් කැපී යයි. ජරාවෙන් ලේ මස් නැති වී යයි. සිංහ ව්‍යාඝ්‍රාදි සතුන් විසින් කනු ලැබීමෙන් ද කොටසින් කොටස ශරීරය සිඳි සිඳී විනාශ වේ. මරණයෙන් සම්පූර්ණ පඤ්චස්කන්ධය විනාශ වේ. නාමස්කන්ධයන් කොටස් වශයෙන් විනාශ වීම අප්‍ර‍කට ය. සොම්නසින් වෙසෙන්නහු ගේ ඒ සොම්නස ශෝකයට බියට කරුණක් ඇතිවීමෙන් නැති වෙයි. දොම්නස සොම්නසට හේතූන් ලැබීමෙන් නැති වෙයි. උපේක්ෂාව සොම්නස් දොම්නස් හේතූන්ගෙන් නැති වේ. මෙසේ වේදනාදී නාමස්කන්ධයන්ගේ නැතිවීම සිඳී යාම ද සැලකිය යුතු ය.

“පඤ්චක්ඛන්ධෙ පලෝකතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අපලෝකධම්මො නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

ස්කන්ධයන් කොටස් වශයෙන් නැසෙන සිඳෙන ධර්මයන් සේ දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය වූ විනාශ නොවන ස්වභාවය නිවන යයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

10. ඊති

දසවන භාවනා පදය.

ස්කන්ධයෝ මහත් වූ ව්‍යසනයෝ ය.

ලෝකයෙහි ඥාතිව්‍යසනාදි අනේකප්‍ර‍කාර ව්‍යසන ඇත්තේ ය. ඒවායින් සත්ත්වයනට මහත් චිත්තසන්තාපයක් ඇති වේ. දරුවන්ට මාපියන්ගේ මරණවලින් මහත් ශෝකාග්නියක් ඇති වේ. හිමියන්ට බිරියන්ගේ මරණයෙන් ද, බිරියන්ට හිමියන්ගේ මරණයෙන් ද, මාපියන්ට දරුවන්ගේ මරණයෙන් ද, සහෝදරයන්ට සහෝදරයන්ගේ මරණයෙන් ද, නෑයන්ට නෑයන් ගේ මරණයෙන් ද, මිතුරන්ට මිතුරන් ගේ මරණයෙන් ද මහත් චිත්ත සන්තාපයක් දොම්නසක් ඇති වේ. ව්‍යසනයන්ගෙන් ඇති වන බලවත් චිත්ත සන්තාපයෙන් ඇතැම්හු රෝගීහු වෙති. ඇතැම්හු උමතු වෙති. ඇතැම්හු වියළී මිය යෙති. සමහරුන්ට සමහර විට පටාචාරාවට මෙන් එකවිට බොහෝ ව්‍යසන ද ඇති වේ. එබඳු අවස්ථාවක් පැමිණි කල්හි පඤ්චස්කන්ධයට ඔරොත්තු නො දෙන තරමේ මහත් ගින්නක් ඇති වේ. විශාල වියදමකින් මහත් වෙහෙසකින් තනා තුබූ ගෙවල් විනාශ වේ. වවාගෙන සිටි කෙත්වතු විනාශ වේ. රැස්කර තුබූ ධනය විනාශ වේ. ඒවායින් ද සත්ත්වයනට ඉමහත් චිත්ත සන්තාපයක් ඇති වේ. පඤ්චස්කන්ධය නැති නම් විනාශ වන්නට මාපියෝ ද නැත, සැමියෝ ද නැත, බිරියෝ ද සහෝදරයෝ ද නැත, නෑ මිතුරෝ ද නැත, ගෙවල් ද නැත, කෙත්වතු ද නැත. එ බැවින් පඤ්චස්කන්ධය නැති කල්හි ඥාතිව්‍යසනාදි ව්‍යසන නැත. පඤ්චස්කන්ධය ඇතොත් ව්‍යසන ද ඇත්තේ ය. ව්‍යසනයෙන් මිදුණු පඤ්චස්කන්ධයක් නැත. පඤ්චස්කන්ධයක් තිබීම ම ව්‍යසන හේතුව ය. එබැවින් පඤ්චස්කන්ධය ම මහත් වූ ව්‍යසනයකැ යි කියනු ලැබේ.

“පඤ්චක්ඛන්ධෙ ඊතිතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අනීතිකං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති”

පඤ්චස්කන්ධය ව්‍යසනයන් ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය වූ ව්‍යසන නැති බව නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

11. උපද්දවා

එකොළොස් වන භාවනා පදය.

ස්කන්ධයෝ උපද්‍ර‍වයෝ ය.

කලින් කිසි ලකුණකුදු නො තිබී සිටි සැටියේ ම හදිසියේ එළඹෙන්නා වූ විපත්තීහු උපද්‍ර‍වයෝ ය. අකුණු වැදීම, විදුලිය සැර වැදීම, ගංවතුර ගැලීම, මුහුද ගොඩ ගැලීම, පොළොව සැලීම, ගිනිකඳු පිපිරීම, තද සුළං හැමීම, නැව් ගිලීම, අහස්යානා බිඳ වැටීම, ගසින් වැටීම, ගස් කඩා වැටීම, රිය ගැටීම, රිය පෙරළීම, සොර සතුරන් පැමිණ පහර දීම, ගෙවල් ගිනි ගැනීම, දියේ වැටීම, අමනුෂ්‍යයන් පීඩා කිරීම, බෝම්බ වැටීම, සර්පයන් දෂ්ට කිරීම, නපුරු සතුන් අනතුරු කිරීම යනාදීහු උපද්‍ර‍වයෝ ය. මේ උවදුරු ඇත්තේ පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධයක් නැති නම් ජලය ගැලුව ද ගිනි ඇවිළුණ ද අකුණු පහත් වුව ද ඒවා උපද්‍ර‍ව නො වේ. උපද්‍ර‍වයන් පඤ්චස්කන්ධය නිසා ම ඇතියක් බැවින් පඤ්චස්කන්ධය ම උපද්‍ර‍වයන් සේ සැලකිය යුතු ය.

“පඤ්චක්ඛන්ධෙ උපද්දවතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අනුපද්දවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් උපද්‍ර‍වයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල වූ විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ නිරෝධය උපද්‍ර‍ව නැති නිවන යයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

12. භයා

දොළොස්වන භාවනා පදය

ස්කන්ධයෝ භයයෝ ය.

භය යනු ඇතැම් කරුණුවලින් හටගන්නා වූ චිත්ත පීඩාවෙකි. එය ඉමහත් දුකෙකි. එය ගින්නක් වැනි ය. භය ඇති වූ කල්හි ගින්නකින් දැවෙන්නාක් මෙන් ශරීරයේ ඇතුළ දැවෙයි. උගුර කට වියළෙයි. ඇඟ වෙවුලයි. ඩහදිය ගලයි. මහත් භයක් ඇති වූ කල්හි මලමුත්‍ර‍ පහ වෙයි. සිහි නැති වෙයි. රෝගාතුර වෙයි. සමහර විට මරණය ද වේ. මේ භය සාමාන්‍ය ජනයාට තබා රාජාදි මහ බලවතුන්ට ද නොයෙක් විට ඇති වේ. චූළනී බ්‍ර‍හ්මදත්ත රජුගේ සේනාව පැමිණ වට කර ගත් කල්හි වේදේහ රජු ඔහුගේ බිය මහෞෂධ පඬිතුමා ඉදිරියේ මෙසේ පවසා ඇත්තේ ය.

“උබ්බේධතේ මේ හදයං මුඛඤ්ච පරිසුස්සති,

නිබ්බුතිං නාධිගච්ඡාමි අග්ගිද්ඩ්ඪෝව ආතපේ

කම්මාරානං යථා උක්කා අන්තෝ ඣායති නො බහි,

එවම්පි හදයං මය්හං අන්තෝ ඣායති නො බහි.”

“මහ සුළඟකට අසු වූ ගසක කොළයක් මෙන් මාගේ හෘදය වෙවුලන්නේ ය. මාගේ මුඛය ද වියළෙයි. ගින්නේ දැවී අව්වට පැමිණියකු මෙන් මම නිවීමක් නො ලබමි. කඹුරන් ගේ කෝවක ඇතුළ දැවෙන්නාක් මෙන් මාගේ හෘදයේ ඇතුළ දැවේය” යනු එහි තේරුම ය.

සසර සැරිසරන සත්ත්වයනට බිය දනවන කරුණු බොහෝ ඇත්තේ ය. රජුන්ගෙන් ද මහත් භය ඇති වේ. සොරුන්ගෙන් සතුරන්ගෙන් ද අලි කොටි වලස් ආදි නපුරු සතුන්ගෙන් ද සර්පයන්ගෙන් ද චණ්ඩ අමනුෂ්‍යයන්ගෙන් ද යුඬවලින් ද ගින්නෙන් ද දියෙන් ද සුළඟින් ද වසංගත රෝගවලින් ද නොයෙක් විට මහත් භය ඇති වේ. තමාට මැරෙන්නට වේය යි සිතුණු විට මහා භයක් ඇති වේ. තව ද අඹුදරුවන් සහෝදර සහෝදරියන් මැරෙතැයි කියා ද, කෙත්වතු පාලු වෙතියි කියා ද, රස්සාව නැති වී යතැයි කියා ද, රහස් හෙළි වෙතැයි කියා ද, රෝගයන් හටගැනෙතැයි කියා ද, අනුන් විසින් චෝදනා ඉදිරිපත් කිරීම නිසා ද, මා විසින් මෙනම් වරද කර ඇත කියා තමා විසින් ම තමාට චෝදනා කර ගැනීම නිසා ද, මරණින් මතු අපායෙහි වැටෙන්නට වෙතියි කියා ද, තවත් නොයෙක් කරුණු නිසා ද සත්ත්වයනට නොයෙක් විට බිය ඇති වේ. මෙහි කී නො කී සියලු බිය ඇත්තේ පඤ්චස්කන්ධය ඇති නිසා ය. පඤ්චස්කන්ධය නො මැති නම් භය කියා දෙයක් නැත. එබැවින් ස්කන්ධයෝ ම භයයයි යෝගාවචරයන් විසින් සැලකිය යුතු ය.

“පඤ්චක්ඛන්ධෙ භයතො පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අභයං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධය බියක් ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය බිය රහිත නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.

13. උපසග්ගා

තෙළෙස්වන භාවනා පදය.

ස්කන්ධයෝ ශරීරගත ව තිබී සිටි සැටියේ හදිසියේ මතු වී එන මළපෙරේත දෝෂාදිය වැනි දෝෂයෝ ය.

ස්කන්ධ පඤ්චකය ඥාතිව්‍යසනාදි අනේක බාහිර අනර්‍ථයන් හා ද, දරුණු රෝගාදි ආභ්‍යන්තරික අනර්ථයන් හා ද, රාග ද්වේෂාදි ආභ්‍යන්තරික අනර්ථයන් හා ද සම්බන්ධව පවත්නා දෙයකි. එබැවින් මේ පඤ්චස්කන්ධය දරන්නහුට සූනියමක් පෙරේත දෝෂයක් දේවදෝෂයක් වැදී ඇතියවුන්ට වරින් වර හදිසියේ ඒ දෝෂය මතු වී එන්නාක් මෙන් ඥාතිව්‍යසනාදි බාහිර අනර්ථයෝ හදිසියේ නැඟී එති. නොයෙක් භයානක රෝගයෝ හදිසියේ ම ශරීරය තුළින් නැඟී එති. මහානර්ථකර රාගාදි ක්ලේශයෝ හදිසියේ ම අභ්‍යන්තරයෙන් නැඟී එති. පඤ්චස්කන්ධයක් නැතහොත් ඒ බාහිරාභ්‍යන්තරික අනර්ථයන්ට සම්බන්ධ වී තිබීමට නැඟී ඒමට තැනක් නැති බැවින් පඤ්චස්කන්ධය ම දෝෂයන් ලෙස සැලකිය යුතු ය.

සූනියම් දෝෂාදියක් වැදී ඇතියහු විසින් මම දැන් සුඛිත ව වෙසෙමි යි කියා ඒ දෝෂය දුරු කර ගැනීමට ක්‍රියා නො කොට පමා වීම සුදුසු නැත. පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත දෝෂය ඇති කල්හි ද මට දැන් අනර්ථයක් නැත. විපතක් නැත. මම දැන් සුඛිත වෙමිය කියා බලා සිටීම පමාවීම නුසුදුසු ය. පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත දෝෂයෙන් මිදී පඤ්චස්කන්ධය හැර නිවන් ලබනු සඳහා වහා ම ක්‍රියාරම්භ කළ යුතු ය. මොහොතකුදු බලා සිටීම නුසුදුසු ය. එබැවින් පඤ්චස්කන්ධය උපසර්ගයෙකි.

පඤ්චක්ඛන්ධෙ උපසග්ගතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අනුපසග්ගං නිබ්බානන්ති පස්සන්තෝ සම්මතනියාමං ඔක්කමති.

පඤ්චස්කන්ධන් උපසර්ග වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනෙකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය උපසර්ග රහිත වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

14. චලා

තුදුස්වන භාවනා පදය.

ස්කන්ධයෝ ව්‍යාධි ජරා මරණාදියෙන් නිතර සැලෙන්නෝ ය.

නිරෝගී පුද්ගලයාගේ ස්කන්ධයෝ රෝගයෙන් වෙනස් වෙති. තරුණයාගේ ස්කන්ධයෝ ජරාවෙන් වෙනස් වෙති. ජීවත්වන්නහුගේ ස්කන්ධයෝ මරණයෙන් වෙනසේ වෙති. ශීතකාලයේ ස්කන්ධයෝ උෂ්ණකාලයේ දී වෙනස් වෙති. උෂ්ණකාලයේ දී ස්කන්ධයෝ ශීත කාලයේ දී වෙනස් වෙති. දවාලේ ස්කන්ධයෝ රාත්‍රියේ දී වෙනස් වෙති. රාත්‍රියේ ස්කන්ධයෝ දවාලෙහි වෙනස් වෙති. යාමෙහිදී පැවති ස්කන්ධයෝ සිටීමෙහිදී වෙනස් වෙති. සිටීමේදී පැවති ස්කන්ධයෝ හිඳීමේ දී වෙනස් වෙති. හිඳීමෙහිදී පැවති ස්කන්ධයෝ වැතිරීමෙහිදී වෙනස් වෙති. අත්පා පහත හෙළා තිබිය දී පැවති ස්කන්ධයෝ එසවීමෙහිදී වෙනස් වෙති. අෂ්ටලෝක ධර්මය අනුව ද ස්කන්ධයෝ වෙනස් වෙති. ලාභ ඇති කාලයේ ස්කන්ධයෝ දුප්පත්වීමෙන් වෙනස් වෙති. පිරිවර ඇති කාලයේ පැවති ස්කන්ධයෝ පිරිවර නැතිවීමෙන් වෙනස් වෙති. ප්‍ර‍ශංසා ඇති කාලයේ ස්කන්ධයෝ නින්දා ලැබීමෙන් වෙනස් වෙති. සැප ඇති කාලයේ ස්කන්ධයෝ දුකේදී වෙනස් වෙති. මෙසේ ස්කන්ධයෝ කිසි ස්ථිරත්වයක් නැති ව නළියන පණු ගොඩක් සේ නළියමින් පවතිත්. මෙහි සෙලවීමය යි කියන ලද්දේ පළමු පහළ වූ සංස්කාරයන් බිඳී ඒ තැන්වල අලුත් සංස්කාරයන් පහළ වීම ය. ශරීරය සැම තැන ම රූපකලාප ඉපද ඉපද බිඳී යන සැටි නුවණින් බලනු. වේදනා සංඥා සංස්කාර විඥාන යන අරූපස්කන්ධ සතරේ සැලීම හෙවත් වෙනස්වීම ද කල්පනා කොට තේරුම් ගත යුතු ය.

“පඤ්චක්ඛන්ධෙ චලතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අචලං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

ස්කන්ධයන් සැලෙන ස්වභාවය ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය නො සැලෙන නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.

15. පභංගු

පසළොස්වන භාවනා පදය

ස්කන්ධයෝ භඞ්ග වන ස්වභාව ඇත්තෝ ය.

රූපස්කන්ධ සඞ්ඛ්‍යාත ශරීරයෝ තැළෙන කැබලි වන සිදුරු වන පැළෙන පලු ගැලවෙන ඉරෙන දැවෙන කුණුවන ස්වභාවය ඇතියෝ ය. “පභඞ්ගු” යන භාවනා පදයෙන් අදහස් කරන්නේ ස්කන්ධයන්ගේ ඒ ස්වභාවයෝ ය. යෝගීන් විසින් ශරීරයන් එසේ වන සැටි සිතා බැලිය යුතු ය.

රූපස්කන්ධ සඞ්ඛ්‍යාත මේ කයට වැටීමක් යටවීමක් දඬු මුගුරුවලින් පහර දීමක් සිදුවුවහොත් නො තැළී පැවතිය හැකි ශක්තිය නැත. තැළෙන ස්වභාවය ඇති රූපස්කන්ධය නොයෙක් විට තැළෙන්නේ ය. කැබලි නො වී පැවතිය හැකි ශක්තියක් රූපස්කන්ධයට නැති බැවින් එය දුම්රිය බස්රිය ආදි බර රියවලට අසුවීම, යන්ත්‍ර‍වලට අසුවීම, ඉතා ඉහළ සිට වැටීම, අලි කොටි වලස් ආදී නපුරු සතුන්ට අසුවීම, බෝම්බවලට අසුවීම යනාදියෙන් කැබලි වී යන්නේ ය. මස් පිණිස ගන්නා ගවාදි සතුන්ගේ ශරීර කැපීමෙන් කුඩා කැබලි වන්නේ ය. හුල් ආදියට ඔරොත්තු දීමේ ශක්තියක් නැති රූපස්කන්ධය කටුවලින් හුල්වලින් පිහිවලින් කිණිසිවලින් සතුන්ගේ දත්වලින් වෙඩිවලින් හීවලින් ශරීරයෙන් ම හටගන්නා ගඩුවලින් නොයෙක්විට සිදුරු වන්නේ ය. දුබල වූ රූපස්කන්ධය සමහරවිට ඉදිමී පැළෙන්නේ ය. බර දේවලට යටවීමෙන් ද ආයුධවලින් ද පැළෙන්නේ ය. සමහරවිට පලු ගැලවී යන්නේ ය. කටු ආදියට හසුවීමෙන් නපුරු සතුන්ගේ නියවලට දත්වලට අසුවීමෙන් ඉරෙන්නේ ය. ගින්නෙන් දැවී අළුවන්නේ ය. ඉදුණු කොස් ගෙඩි සේ කුණු වී යන්නේ ය. බඩවැල් ඇට මස් නහර වෙන් වී යන්නේ ය. ඉතා සියුම් බැවින් නාමස්කන්ධය ආයුධාදියට හසු නො වෙතත් නොයෙක් හේතූන් නිසා ස්වභාවධර්මය අනුව ද භඞ්ගයට විනාශයට පැමිණෙන්නේ ය.

“පඤ්චක්ඛන්ධෙ පභඞ්ගුතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අපභඞ්ගු නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

“පඤ්චස්කන්ධයන් භඞ්ග වන්නන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාදනිරෝධය භඞ්ගයක් නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.”

16. අද්ධුවා

සොළොස්වන භාවනා පදය.

ස්කන්ධයෝ අස්ථිර ස්වභාව ඇතියෝ ය.

ස්කන්ධ පඤ්චකය එක් තත්ත්වයක නො පවතින තත්ත්වයෙන් තත්ත්වයට නිතර පෙරළෙන දෙයකි. එක් පුද්ගලයකුගේ ස්කන්ධ පඤ්චකය එක් ජාතිකයකදීමත් අනේක තත්ත්වයන්ට පැමිණේ. ළදරුවකුගේ පඤ්චස්කන්ධය පස් අවුරුදු වයසේ දී අන් තත්ත්වයකට පැමිණේ. දස අවුරුදු වයසේදී තවත් තත්ත්වයකට පැමිණේ. පසළොස් අවුරුදු වයසේදී තවත් තත්ත්වයකට පැමිණේ. විසි අවුරුදු වයසේ දී තවත් තත්ත්වයකට පැමිණේ. තිස් අවුරුදු වයසේ දී තවත් තත්ත්වයකට පැමිණේ. අසූ අවුරුදු අනූ අවුරුදු වයසේ දී බාලකාලයේ සිටි තත්ත්වයන්ට සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයකට පැමිණේ. අසූ අවුරුදු අනූ අවුරුදු වයසට පැමිණි කල්හි ඇත්තේ දස අවුරුදු පසළොස් අවුරුදු වයස්වලදී දුටුවන්ට කිසිලෙසකින් හැඳිනිය නො හෙන අතීත තත්ත්වයට සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයෙකි. ස්කන්ධයන් අස්ථිර නිසා කලින් කෙළින් සිටියෝ කුදුහු වෙති. කළුකෙස් ඇතිව සිටියෝ සුදුකෙස් ඇත්තෝ වෙති. දත් ඇති ව සිටියෝ දත් නැත්තෝ වෙති. ලස්සනට සිටියෝ විරූප වෙති. ඇස් ඇති ව සිටියෝ අන්ධයෝ වෙති. කන් ඇතිව සිටියෝ බිහිරෝ වෙති. හොඳින් ගමන් කළෝ කොරු වෙති. පා ඇති ව සිටියෝ පා නැත්තෝ වෙති. අත් ඇති ව සිටියෝ අත් නැත්තෝ වෙති. වෙර ඇති ව සිටියෝ නැගිට ගැනීමටත් වෙර නැතියෝ වෙති. සිහි නුවණ ඇති ව සිටියෝ උම්මත්තකයෝ වෙති. පිරිවර ඇතිව සිටියෝ තනි වෙති. මහධනපතියෝ යාචකයෝ වෙති. පුරුෂයන් ලක්ෂණය කියා ‍හොඳය කියා ඉතා ආශාවෙන් වැලඳගන්නා කාන්තාවෝ කුෂ්ඨාදි නපුරු රෝගයන් වැලඳීමෙන් කන් නාස් ආදී ශරීරාවයවයන් නැති වී යාමෙන් වැලඳ ගැනීම සිප ගැනීම තබා සෙස්සන් ළංවීමට දැකීමට පවා කැමති නො වන තත්ත්වයට පැමිණෙති. කාන්තාවන් විසින් ඇලුම් කරන වැලඳගන්නා ශෝභන පුරුෂයෝ ද කුෂ්ඨාදි රෝගයන් නිසා සෙස්සන් පිළිකුල් කරන තත්ත්වයට පැමිණෙති. මළ පසු ගෙවල ගම්වල නගරවල තබා ගත නො හෙන තත්ත්වයට පැමිණෙති. මනුෂ්‍යයෝ ද චාතුර්මහාරාජිකාදි දිව්‍යලෝකවල උසස් ලෙස කම්සැප විඳින දෙවියෝ ද ඒ සම්පත්වලින්න පිරිහී සමහර විට සඤ්ජීවාදි මහානරකයන්හි නිරිසත්තු වෙති. තව්තිසා දෙව්ලොව සුබ්‍ර‍හ්මා නම් දිව්‍යපුත්‍ර‍යාගේ පරිචාරිකාවන් වූ දෙවඟනන් පන්සියයක් උපච්ඡේදක කර්මයකින් එකවර චුත ව අවීචියෙහි උපන් බව සංයුත්තනිකාය අටුවාවෙහි කියා ඇත්තේ ය. ඇතැම්හු සමහරවිට මහත් සම්පත්තියෙන් සිට පිරිහී සාගින්න නිවා ගැනීමට ආහාරයක් නො ලබන, පිපාසාවට පැන් ටිකක් නො ලබන, හැඳීමට වස්ත්‍ර‍යක් නො ලබන ප්‍රේතයෝ වෙති. ඇතැම්හු මහා සම්පත්තියෙන් පිරිහී බලු සිවල් කපුටු ඌරු ඉදිබු මැඩි ආදි නීච සත්ත්වයෝ වෙති. බුදුරදුන් කල සැවැත්නුවර සමීපයේ ගමක විසූ තෝදෙය්‍ය නම් ධනවත් බමුණකු මැරී ඒ ගෙයි ම සුනඛයකු වූ බව ද, අස්සක නම් රජකුගේ දේවිය වූ උබ්බරී නමැති කාන්තාව මැරී ගොමකුරුමිණියකු වූ බව ද කියා තිබේ. ඇතැම්හු සර්පාදි නපුරු සත්තු වෙති. ඇතැම්හු මීයෝ වෙති. මේ පරිවර්තනය සිදුවන්නේ ස්කන්ධ නො තිර නිසා ය.

දිනක් තථාගතයන් වහන්සේ නිය මත පස් ස්වල්පයක් තබා භික්ෂූන් අමතා එය දක්වා “මහණෙනි, මාගේ නිය පිට ඇති පස්වලින් හා මේ පොළොවේ පස්වලින් කවරක් වැඩිදැ” යි අසා වදාළහ. එකල්හි භික්ෂූහු “ස්වාමීනි නුඹවහන්සේගේ නියපිට ඇති පස ඉතා සුළුය, මහපොළොවේ පස් ම ඉතා බොහෝ වේය” යි සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එසේම මිනිස්ලොවින් ච්‍යුත ව නැවත මිනිස්ලොව උපදනා පුද්ගලයෝ ස්වල්ප වන්නාහ. නරකයෙහි උපදනා ප්‍රේත ව උපදනා තිරිසන් ව උපදනා පුද්ගලයෝ ම බොහෝ වන්නාහ” යි වදාළහ. දිව්‍යලෝක ගැන ද එසේ ම වදාරා ඇත්තේ ය.

මෙසේ පරිවර්‍තනයක් ඇති, තිරබවක් නැති මේ ස්කන්ධ පඤ්චකය ඇලුම් කළ යුත්තක් නොව බිය විය යුත්තකි. හොඳය කියා මොහොතකුදු එයට ඇලුම් කරගෙන සිටීම නුසුදුසු ය.

“පඤ්චක්ඛන්ධෙ අද්ධුවතො පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ ධූවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

“පඤ්චස්කන්ධයන් අස්ථිර වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ නිරෝධය ස්ථිර වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.”

17. අතාණා

සතළොස්වන භාවනා පදය

ස්කන්ධයෝ ජාත්‍යාදි දුඃඛයන්ගෙන් සත්ත්වයන් නො රකින්නෝ ය.

සසර සැරිසරන සත්ත්වයනට පැමිණෙන අපමණ දුක් ඇත්තේ ය. භය ඇත්තේ ය. ස්කන්ධයෝ ඒවායින් සත්ත්වයන් ආරක්ෂා නො කරති. ආරක්ෂා කිරීමට සමත් බවක් ද ස්කන්ධයන්ට නැත්තේ ය. සත්ත්වයනට ඇති ජාති ජරා මරණාදි භය පමුණුවන්නෝ ස්කන්ධයෝ ම ය. ස්කන්ධයෝ සත්ත්වයන් ගේ සතුරෝ ය. රූපස්කන්ධයේ ප්‍ර‍ධාන ධර්ම සතර පඨවි ආපෝ තේජෝ වායෝ යන මහාභූත ධාතු සතර ය.

“චත්තාරෝ ආසිවිසා උග්ගතේජා ඝෝරවිසාති ඛෝ භික්ඛවේ, චතුන්නං මහාභූතානං අධිවචනං”

යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් “උග්‍ර‍ විෂ ඇති ඝෝර විෂ ඇති සර්පයෝ සතර දෙනය යනු සතර මහා භූතයන්ට නමෙකැ” යි වදාරා ඇත්තේ ය. “කාෂ්ට මුඛය, පූති මුඛය, අග්නි මුඛය, ශස්ත්‍ර‍ මුඛය” යි සර්පයෝ සතර දෙනෙක් ඇත්තාහ. දෂ්ට කළ කල්හි ශරීරය දර ලීයක් සේ තද වන විෂ ඇති සර්පයා “කාෂ්ටමුඛ” නම් වේ. දෂ්ට කළ කල්හි ශරීරය කුණු වී යන විෂ ඇති සර්පයා “පූතිමුඛ” නමි. දෂ්ට කළ කල්හි ශරීරය ගින්නකින් මෙන් දවන විෂ ඇති සර්පයා “අග්නිමුඛ” නමි. දෂ්ට කළ කල්හි ශරීරය සුනු විසුනු වී යන විෂ ඇති සර්පයා “ශස්ත්‍ර‍මුඛ” නමි.

මහාභූත සතර කීකරු කර සැම කල්හි සමව පැවැත්වීම දුෂ්කර ය. පෘථිවි ධාතුවට පිළියම් යොදන කල්හි ආපෝ ධාතුව කිපෙයි. එයට පිළියම් යොදන කල්හි අනික් ධාතුවක් කිපෙයි. එක් ධාතුවකට පිළියම් යොදන කල්හි ඉතිරි ධාතූහු කිපෙති. පෘථිවි ධාතුව කිපුණු කල්හි ඉතිරි ධාතු තුන යට කොට කාෂ්ටමුඛ නම් සර්පයා විසින් දෂ්ට කළ කල්හි මෙන් ශරීරය දරකඩක් සේ තද කරයි. ආපෝ ධාතුව කිපුණු කල්හි ඉතිරි ධාතු තුන යට කොට පූතිමුඛ නම් සර්පයා දෂ්ට කළ කලෙක මෙන් ශරීරය කුණු කරයි. තේජෝ ධාතුව කිපුණු කල්හි අග්නිමුඛ නම් සර්පයා විසින් දෂ්ට කළ කලෙක මෙන් ශරීරය දවයි. වායෝ ධාතුව කිපුණු කල්හි ශස්ත්‍ර‍මුඛ නම් සර්පයා විසින් දෂ්ට කළ කලෙක මෙන් ශරීරය සුනු විසුනු වෙයි. බාහිර ලෝකය විනාශ වන්නේ ද මේ මහා භූතයන්ගෙන් ම ය.

“භූමිතෝ චුට්ඨිතා යාව - බ්‍ර‍හ්මලෝකා විධාවති,

අච්චි අච්චිමතෝ ලෝකෝ - ඩය්හමානම්හි තේජසා.”

යනුවෙන් කල්ප විනාශයේදී ලෝකය ගින්නෙන් දැවෙන කල්හි පොළොවෙන් නැඟි ගිනි දැල් බ්‍ර‍හ්මලෝකය දක්වා ගොස් ලෝකය විනාශ කරන බව දක්වා ඇත්තේ ය.

“කෝටිසතසහස්සේකං-චක්කවාළං විලීයති,

කුපිතෙන යදා ලෝකෝ-සලිලෙන විනස්සති.”

යනුවෙන් කිපියා වූ ආපෝ ධාතුවෙන් ලෝකය නස්නා කල්හි එක් ක්ෂේත්‍ර‍යක් වූ කෝටිලක්ෂයක් සක්වළ දිය වී විනාශ වන බව ප්‍ර‍කාශිතය.

“කෝටිසතසහස්සේකං-චක්කවාළං විකීරති,

වායෝ ධාතුප්පකෝපේන-යදා ලෝකෝ විනස්සති.”

යනුවෙන් වායෝ ධාතුව කිපීමෙන් ලෝකය විනාශ වන කල්හි එක් ක්ෂේත්‍ර‍යක් වූ කෝටිලක්ෂයක් සක්වළ සුනු වී විසිරෙන බව ප්‍ර‍කාශිතය. ශරීරවල හටගන්නා සියලු රෝගාබාධයන් හටගන්නේ ද, මරණින් පසු ශරීරය ඉදිමී කුණු වී යන්නේ ද ධාතුන්ගේ කෝපයෙන් ම ය. ධාතූන් සම ව පවත්නාතුරු සත්ත්ව ශරීරවලට හා බාහිර ලෝකයට කිසිදු හානියක් නො වේ.

“පඤ්ච වධකා පච්චත්ථිකාති ඛෝ භික්ඛවේ පඤ්චන්නේතං උපාදානක්ඛන්ධානං අධිවචනං”

යනුවෙන් උපාදානස්කන්ධ පස වධකයන් වූ සතුරන් පස් දෙනකැ යි භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේ ය. වධකයන් වූ මේ රූපයෝ රූපයන් ද නසති. නාමයන් ද නසති. නාමයත් එසේ ම නාමය ද නසයි. රූපය ද නසයි. පෘථිවි ධාතුව බිඳෙන්නේ ඉතිරි ධාතු තුන ද බිඳ ගෙන ය. ඒ පෘථිවි ධාතුව විසින් ඉතිරි ධාතු තුන නැසීම ය. ආපෝ ධාතු ආදීන් බිඳෙන්නේ ද එසේ ම තමන් හා සම්බන්ධ ව පවත්නා ඉතිරි ධාතු තුන බිඳ ගෙන ය. රූපස්කන්ධය බිඳෙන්නේ ද නාමස්කන්ධ සතරත් බිඳ ගෙන ය. මෙසේ රූපයෝ රූපාරූප දෙක ම නසති. වේදනාස්කන්ධය බිඳෙන්නේ ද තමා හා සම්බන්ධ ව පවත්නා සංඥා සංස්කාර විඥානස්කන්ධයන් ද බිඳ ගෙන ය. සංඥාදි ස්කන්ධයන් බිඳෙන්නේ ද එසේ ම තමා හා සම්බන්ධ ව පවත්නා ඉතිරි නාමස්කන්ධ තුන බිඳ ගෙන ය. මේ අරූපයෙන් අරූපය නැසීම ය. මරණක්ෂණයේ දී නාමස්කන්ධ සතර බිඳෙන්නේ තමන්ට නිශ්‍ර‍ය වූ වස්තුරූපයත් බිඳගෙන ය. ඒ අරූපයෙන් රූපය නැසීම ය. මෙසේ ස්කන්ධයෝ ඔවුනොවුන් මරාගන්නා බැවින් වධකයෝ ය. මරණයක් ඇත්තේ ස්කන්ධයන් ඇති කල්හි ය. ස්කන්ධ නැතහොත් මරණයක් නැත. එබැවින් ස්කන්ධයෝ වධකයෝ ය. සතුරෝ ය. වධකයන් වූ සතුරන් වූ ස්කන්ධයෝ කෙසේ නම් සත්ත්වයනට ආරක්ෂාවක් වෙත් ද? නො වෙත් ම ය.

“පඤ්චක්ඛන්ධෙ අතාණතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ තාණං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් ආරක්ෂාවන් නො වන ධර්‍මයන් ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ආරක්ෂාව වන නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

18. අලේණා

අටළොස්වන භාවනා පදය.

ස්කන්ධයෝ සත්ත්වයනට ආරක්ෂාස්ථාන නො වන්නේ ය.

ස්කන්ධයන් වධකයන් සතුරන් වුව ද ඒවා ආත්මය කොටගෙන ඒවායේ ඇලී සිටින්නවුන්ට ස්කන්ධයන් නිසා තාවකාලික සැප ද නො ලැබෙන්නේ නො වේ. ඒවායින් මුළා වූ සත්ත්වයෝ ඒ ස්කන්ධයන් තමන් ගේ ආරක්ෂාවන් වශයෙන් ද, ආරක්ෂා ස්ථානයන් වශයෙන් ද සලකා ඒවායේ ඇලී සිට ජරා ව්‍යාධි මරණාදි අනේක ප්‍ර‍කාර දුඃඛයන් ලබති. විටෙක සැප සම්පත් සලසා දී අන්තිමයේ මහ දුක් ගෙන දෙන ස්කන්ධයෝ ගෙවල් ලෙන් ගුහා බලකොටු ආදිය සේ ආරක්ෂාස්ථාන කර ගැනීමට නුසුදුස්සෝ ය. ඒවා ආරක්ෂාස්ථාන කරගෙන ජරාමරණාදි දුඃඛයන් කෙරෙන් කිසිසේත් නො මිදිය හැකිය. ජරාමරණාදි දුඃඛයන් පමුණුවන ස්කන්ධයන් ඒවායින් ආරක්ෂාවීම සඳහා උපයෝගී කරගන්නට යාම ඉමහත් මුළාවෙකි.

“පඤ්චක්ඛන්ධෙ අලේණතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ ලේණං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් ආරක්ෂාස්ථාන නො වන්නවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ආරක්ෂාස්ථානය වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

19. අසරණා

එකුන්විසිවන භාවනා පදය.

ස්කන්ධයෝ අසරණයෝ ය.

සත්ත්වයනට පැමිණෙන රෝබිය, සතුරුබිය, මරණ බිය ආදිය දුරු කිරීමට සමතුන් ලෙස ඇතැමුන් සලකන දේවාදීහු ද නාමරූප ධර්ම සමූහයෝ ය. ස්කන්ධයෝ ය. උපන් සැටියේ ම දිරා බිඳී යන ස්කන්ධයෝ අන්‍යයන්ට පිහිට වීමට සමත්හු නො වෙති. ස්කන්ධයන්ට නො දිරා නො බිඳී සිටීමට පිහිට වන පුද්ගලයෙක් නැත. පිහිට කර ගත හැකි අන් බලයක් ද නැත. ජරාමරණාදි සාංසාරික දුඃඛයන් හා අපායදුඃඛය වැළැක්වීමේ ශක්තියක් නැති බැවින් ද, ඒවාට නො දිරා නො බිඳී පැවතීමට අන් කිසි පිහිටක් නැති බැවින් ද ස්කන්ධයෝ අසරණයෝ ය. ජරාමරණාදි දුඃඛයන් හා අපාය දුඃඛය වැළැක්වීමට සමත් එක ම ධර්මය ඒ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුව ම ය.

“පඤ්චක්ඛන්ධෙ අසරණතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ සරණං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් අසරණයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය භය දුරු කරන නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.

20. රිත්තා

විසිවන භාවනා පදය.

ස්කන්ධයෝ නිත්‍ය භාවාදියෙන් සිස් වූවෝ ය.

දෙවියෝ ය, බ්‍ර‍හ්මයෝ ය, මනුෂ්‍යයෝ ය, තිරශ්චීනයෝ ය කියා යම් සත්ත්ව කෙනෙක් වෙත් නම් ඒ සියල්ලෝ ම ඉපද ඉපද බිඳි බිඳී යන සංස්කාර පරම්පරාවෝ ය. ඇතැම්හු මේ සත්ත්ව සමූහය දෙස හා බාහිර ලෝකය දෙස බලා “මේ සත්ත්ව සමූහයත් ලෝකයත් මෙසේ නිකම් ම ඇතිවන්නට නොපිළිවන. ලෝකය හා සත්ත්වයන් මෙසේ ක්‍ර‍මානුකූලව සාදන යම්කිසි බලවතකු විය යුතු ය. ඔහු විසින් මේ සත්ත්ව සමූහය හා ලෝකය මවන්නට ඇතය” යි කල්පනා කළහ. මැවුම්කරු කවරේ ද කොහි වෙසේදැයි කල්පනා කළා වූ ඔවුහු පොළොවෙහි මැවුම්කරු නුදුටුවෝ ය. පොළොවෙහි නැති බැවින් මැවුම්කරු අහසෙහි අන්ලොවක ඇතැයි ඔවුහු කල්පනා කළහ. මැවුම්කරු මෙබඳු කෙනකු විය යුතු ය යි ඔවුහු මැවුම්කරුගේ සැටි ද කල්පනා කළහ. ඔවුහු මැවුම්කරුට දේවබ්‍ර‍හ්ම යන නම් තබා ගත්හ. සිත සමාධි කරගෙන ඉන්නා කල්හි නැති නොයෙක් රූප පෙනෙන ස්වභාවයක් ඇත්තේ ය. එසේ ඉන්නා කල්හි ඇතැමුන්ට ඔවුන් අදහස් කරන මැවුම්කරු පෙනිණ. එයින් මැවුම්කරුවකු ඇතය යන අදහස වඩාත් තහවුරු විය. මැවුම්කරු නො මැරෙන නො දිරන සෑම කල්හි දුකින් තොරව සැපයෙන් වෙසෙන්නෙකැයි ඔවුහු සිතූහ. මැවුම්කරු වෙසෙන ඒ ලෝකයට ගිය අයත් එසේ ම අජරාමර වන බව ඔවුහු කල්පනා කළහ. ඇතැම්හු කය තුළ ජාතියෙන් ජාතියට යන සියුම් ආත්මයක් ඇතය යි සලකති. මෙසේ ඇතය කියා අතැමුන් කල්පනා කරන නිත්‍යභාවයන් සුඛයන් සුන්දරත්වයන් හා ආත්මයන් පඤ්චස්කන්ධයෙහි නැත. ඉපද ඉපද බිඳි බිඳී යන ධර්මපරම්පරාවක් වූ පඤ්චස්කන්ධය නිත්‍යභාවාදියෙන් හිස් ය.

“පඤ්චක්ඛන්ධෙ රිත්තතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අරිත්තං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් නිත්‍යභාවාදියෙන් හිස්වූවන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප වූ විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය හිස් නො වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.

21. තුච්ඡා

එක්විසිවන භාවනා පදය.

ස්කන්ධයෝ තුච්ඡයෝ ය.

සාමාන්‍ය ජනයා විසින් ඇතය යි සලකන නිත්‍යභාව-ස්ථිරභාව-සුන්දරභාව-සුඛභාව-ආත්මභාවයන් ස්කන්ධයන්හි නැත්තේ ය. ඒවායේ උසස් බවක් මහත් බවක් වටිනා බවක් නැත්තේ ය. මේ හේතූන්ගෙන් ස්කන්ධයෝ හටගනිත් ද ඒ හේතූහු ද අනිත්‍ය දුඃඛ අශුභ අනාත්ම ස්වභාවයෝ ය. අනිත්‍ය දුඃඛ අශුභ අනාත්ම ධර්මයන් හේතුකොට උපදනා ස්කන්ධයන්ට නිත්‍යභාවයක් ස්ථිර භාවයක් සුඛභාවයක් ශුභභාවයක් ආත්මභාවයක් තිබිය නො හැකි ය. එබැවින් ස්කන්ධයෝ තුච්ඡයෝ ය.

“පඤ්චක්ඛන්ධෙ තුච්ඡතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අතුච්ඡං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් තුච්ඡයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය අතුච්ඡ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.

22. සුඤ්ඤා

දෙවිසිවන භාවනා පදය.

ස්කන්ධයෝ ශුන්‍යයෝ ය.

නාමරූප ධර්මයන් එකිනෙක වෙන් කර ගැනීමට හා ඒවායේ ලක්ෂණ දැන ගැනීමටත් නො සමත් පුද්ගලයෝ ස්කන්ධයන් සම්බන්ධයෙන් පවත්නා සම්මෝහය නිසා සත්‍ය වශයෙන් නො ලැබෙන අනේකාකාර ආත්මයන් පරිකල්පනය කොට ප්‍ර‍කාශ කර ඇත්තේ ය. ඇතැමෙක් ඇස කන නාසය දිව සම යන දැනීමට උපකරණ වන ඉන්ද්‍රියයන් හා සිත ද ක්‍රියාවන්ට උපකරණ වන අත් පා ආදිය ද ඇතුළු සකල ශරීරාවයවයන්ට ස්වාමිව සිටින ආත්මයක් ඇතය යි කියති. ඇතැමෙක් චක්ෂුරාදි ඉන්ද්‍රියයන් කරණ කොට දර්ශනාදි ක්‍රියා කරන්නේ ආත්මයයි ද පවසති. ඇතැමෙක් සුවදුක් විඳින්නේ ආත්මයයි ද පවසති. ධර්මවිභාග නො දන්නා සාමාන්‍ය ජනයා සම්පූර්ණ පඤ්චස්කන්ධය ම ආත්ම වශයෙන් ද, රූපාදි ස්කන්ධ වෙන් වශයෙන් එකින් එක ද, ආත්මය යි සලකති. එසේ පරිකල්පනය කරන ලද වරදවා ගන්නා ලද ඒ ආත්ම එකකුත් ස්කන්ධයන්හි නැති බැවින් ස්කන්ධයෝ ශූන්‍යයෝ ය. අනේකප්‍ර‍කාර ආත්මයන් ප්‍ර‍කාශ කරන සැමදෙන ම ඒ ආත්මයන් ප්‍ර‍කාශ කරන්නේ පඤ්චස්කන්ධයෙන් යම් කිසිවක් වරදවා තේරුම් ගෙන ය.

පඤ්චක්ඛන්ධෙ සුඤ්ඤතෝ පස්සන්තො අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ පරමසුඤ්ඤං නිබ්බානන්ති පස්සන්තෝ සම්මතනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් ශුන්‍ය වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය දුඃඛයෙන් සම්පූර්ණයෙන් ශුන්‍ය වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

23. අනත්තා

තෙවිසිවන භාවනා පදය.

ස්කන්ධයෝ ආත්ම නොවන්නෝ ය.

කර්ම චිත්ත සෘතු ආහාර යන ප්‍ර‍ත්‍යයන්ගෙන් අනේකප්‍ර‍කාර රූපයෝ ඉපද දිරා බිඳී යෙති. තමන්ගේ බලයෙන් තොරව අන් හේතුවකින් උපන් ඒ රූපයන්ට ඒවායේ අයිතියක් නැත. ඒ රූපයන්ට අන් හිමියෙක් ද නැත. ඒවාට නො දිරා නො බිඳී සිටිය හැකි ශක්තියක් ද නැත. සුඛ ප්‍ර‍ත්‍යයන් ඇතිවීමෙන් සුඛ වේදනාව ද, දුඃඛ ප්‍ර‍ත්‍යයන් ඇතිවීමෙන් දුඃඛ වේදනාව ද, සුඛ දුඃඛ ප්‍ර‍ත්‍යයන් නො ලබන කල්හි උපේක්ෂා වේදනාව ද උපදී. තමන්ගේ බලයෙන් නො ව අන් හේතුවකින් උපදනා ඒ වේදනාවන්ට ඒවායේ අයිතියක් ද නැත. ඒවාට අන් හිමියෙක් ද නැත. නො දිරා නො බිඳී පැවතිය හැකි ශක්තියක් ද ඒවාට නැත. ෂට්ද්වාරයට රූපාදි අරමුණු මුණ ගැසෙන කල්හි ගැහැනියක පිරිමියෙක මිනිසෙක ගවයෙක ගසක වැලක ගෙයක යනාදි සංඥාවෝ පහළ වෙති. අන් හේතුවකින් පහළ වූ ඒ සංඥාවන්ට ඒවායේ අයිතියක් නැත. ඒවාට අන් හිමියෙක් ද නැත. නො දිරා නො බිඳී පැවතිය හැකි ශක්තියක් ද ඒවාට නැත. රූප වේදනාදීන් නිසා යාම් ඊම් හිඳීම් සිටීම් දීම් ගැනීම් කෑම් පීම් ආදිය සිදු කරන චේතනා සංඛ්‍යාත සංස්කාරයෝ ද ඇලීම් කිපීම් ආදි සංස්කාරයෝ ද පහළ වෙති. තමන්ගේ බලයෙන් නොව අන් හේතුවකින් හටගන්නා වූ ඒ සංස්කාරයන්ට ඒවායේ අයිතියක් නැත. අන් හිමියෙක් ද ඒවාට නැත. නොදිරා නො බිඳී පැවතිය හැකි ශක්තියක් ද ඒවාට නැත. රූපාදි අරමුණු චක්ෂුරාදි ද්වාරයන්ට හමුවීමෙන් චක්ෂූර් විඥානාදි විඥානයෝ උපදිති. අන් ප්‍ර‍ත්‍යයකින් හටගත් විඥානයන්ට ඒවායේ අයිතියක් නැත. ඒවාට අන් හිමියෙක් ද නැත. නොදිරා නො බිඳී පැවතිය හැකි ශක්තියක් ද ඒවාට නැත.

ඒ ඒ ප්‍ර‍ත්‍යයෙන් හටගෙන දිරා බිඳී යන මේ සංස්කාරයෝ නාමරූපයන් තමන්ගේ කැමැත්තේ සැටියට පවත්වන, මමය කියා සලකන ආත්මයක් නො වෙති. භවයෙන් භවයට යන නො මැරෙන ආත්මයක් ද නො වෙති. යාම් ඊම් බැලීම් ඇසීම්, ආදිය සිදු කරන ආත්මයක් ද නො වෙති. සුවදුක් විඳින ආත්මයක් ද නො වෙති. ඒ ඒ දේ සංවිධානය කරන ආත්මයක් ද නො වෙති. හුදෙක් ප්‍ර‍ත්‍යයෙන් හටගෙන එකෙණෙහි දිරා බිඳී යන ධර්ම පරම්පරාවෙකි. එබැවින් ස්කන්ධයෝ අනාත්මයෝ ය. කැබිලිති, රන් රිදී කාසි මෙන් දක්වා ජනයා රවටන මායා කාරයන් මෙන් ද, රූපත් තරුණ මිනිස් කතුන් සේ පෙනී සිට ජනයා රවටන යකින්නන් මෙන් ද, ජලස්කන්ධයක් සේ පෙනී මුවන් රවටන මිරිඟුව මෙන් ද ස්කන්ධයෝ සත්ත්වයන් පුද්ගලයන් වශයෙන් ආත්ම වශයෙන් පෙනී සිට ජනයා රවටන්නෝ ය. මේ ගාථාවෙන් නිතර සිහි කිරීම ද යෝගාවචරයන්ට ප්‍රයෝජනය ය.

“නාමඤ්ච රූපඤ්ච ඉධත්ථි සච්චතෝ

නහෙත්ථ සත්තෝ මනුජෝ ‘ව විජ්ජති,

සුඤ්ඤං ඉදං යන්තමිචාභිසඞ්ඛතං

දුක්ඛස්ස පුඤ්ජෝ තිණ කට්ඨ සාදිසෝ.”

තේරුම:-

මේ ලෝකයෙහි සැබෑවට ඇත්තේ නාමයත් රූපයත් ය. මෙහි සත්ත්වයෙක් හෝ මිනිසෙක් ද නැත. මෙය අනේකාවයවයන් එකතු කොට පිළියෙළ කළ යන්ත්‍ර‍ක් මෙන් සත්ත්ව පුද්ගල භාවයෙන් හිස් ය. දුක් ගොඩෙක. තණ හා දර වැනි ය.

“යමකං නාමරූපඤ්ච - උභෝ අඤ්ඤොඤ්ඤ නිස්සිතා,

එකස්මිං භිජ්ජමානස්මිං - උභෝ භිජ්ජන්ති පච්චයා.”

තේරුම:-

නාමය රූපය යන මේ දෙක ඔවුනොවුන් නිසා පවත්නෝ ය. ඉන් එකක් බිඳෙන කල්හි ප්‍ර‍ත්‍යය නැති වීමෙන් දෙක ම බිඳෙන්නේය.

“න සකේන බලේන ජායරේ

නෝපි සකේන බලේන තිට්ඨරේ,

පරධම්මවසානුවත්තිනෝ

ජායරේ සංඛතා අත්තදුබ්බලා.”

තේරුම:-

නාමරූපයෝ තමන්ගේ බලයෙන් නූපදනාහ. තමන්ගේ බලයෙන් නො පවත්නාහ. දුර්වල වූ ඒ සංස්කාරයෝ ප්‍ර‍ත්‍යය නමැති අන්‍ය ධර්මයක් නිසා උපදනාහ.

“යථාපි නාවං නිස්සාය-මනුස්සා යන්ති අණ්ණවේ,

ඒවමේව රූපං නිස්සාය-නාමකායෝ පවත්තති.”

තේරුම:-

යම් සේ නැව නිසා මනුෂ්‍යයෝ සාගරයෙහි ගමන් කෙරෙත් ද, එමෙන් රූපකය නිසා නාමකය පවතී.

“යථා ච මනුස්සේ නිස්සාය-නාවා ගච්ඡති අණ්ණවේ

ඒවමේව නාමං නිස්සාය-රූපකායෝ පවත්තති.

තේරුම:-

යම් සේ මිනිසුන් නිසා නැව සාගරයෙහි ගමන් කෙරේ ද, එමෙන් රූපකය නිසා නාමකය පවතී.

“උභෝ නිස්සාය ගච්ඡන්ති

මනුස්සා නාවා ච අණ්ණවේ,

ඒවං නාමඤ්ච රූපඤ්ච

උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා.”

තේරුම:-

ඔවුනොවුන් නිසා මනුෂ්‍යයෝත්, නැවත් සාගරයෙහි ගමන් කෙරෙත්. එසේ නාමයත්, රූපයත් ඔවුනොවුන් නිසා පවතී.

“පඤ්චක්ඛන්ධෙ අනත්තතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ පරමත්ථං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් අනාත්ම වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය පරමාර්ථය වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

24. ආදීනවා

සූවිසිවන භාවනා පදය.

ස්කන්ධයෝ ආදීනවයෝ ය, හෙවත් දෝෂයෝ ය.

ආදීනවය යනු අධික දිළිඳුකම ය. එය ඉතා ලාමක ය. මහත් දෝෂයෙකි, දුඃඛදායක ය. කොතෙක් වෙහෙසී වැඩ කළ ද දුප්පතාට ලැබෙන්නේ එදින ගත කිරීමට තරම් දෙයකි. ඔහුට හෙට පිණිස දෙයක් නැත. හෙට යැපීම සඳහා හෙටත් මහන්සි වී යමක් සෙවිය යුතු ය. එය ඉමහත් කරදරයෙකි, දුකෙකි. සත්ත්වයා වශයෙන් සලකන මේ ස්කන්ධ රාශිය ද දුප්පත් ය. ආහාර පානයෙන් අද ශරීරයේ ඇති කරන ගන්නා රූප කොට්ඨාසය හෙට නැත. හෙටත් ඒවා වුවමනා නම් හෙටත් ආහාර පාන ගත යුතු ය. මේ ඉවරයක් නැති කරදරයෙකි. දුකෙකි. ලස්සන දේ බැලීමෙන්, මිහිරි හඬ ඇසීමෙන්, මිහිරි සුවඳ සිඹීමෙන්, රස බොජුන් වැළඳීමෙන්, සුව පහස් ඇති දෑ වැළඳ ගැනීමෙන් ලබන්නා වූ යම් සුවයක් සොම්නසක් අද ලබා නම් ඒවා අදට පමණ ය. හෙට ඒවායින් ඉතිරි වන කිසිවක් නැත. හෙටත් ඒ සුව සොම්නස් වුවමනා නම් හෙට ශෝභන රූපාදිය සෙවිය යුතු ය. ඒවා ඇති තැන්වලට හෝ යා යුතු ය. දුප්පතකුට සේ අදට මිස හෙටට ඉතිරි වන දෙයක් මේ පඤ්චස්කන්ධයට නැති බැවින් පඤ්චස්කන්ධය ඉමහත් ආදීනවයෙකි. දෝෂයෙකි.

දුප්පතා දුබල ය. ඔහුට කිසිවකු බිය නැත. ළදරුවකු අත ඇති ආහාරය බල්ලන් කපුටන් උදුරා ගන්නාක් මෙන් දුප්පතාට ඇති සුළු දෙයත් සෙස්සෝ පැහැර ගනිති. දුබල වූ සතාට කපුටන් කොටන්නාක් මෙන් වල් කොල්ලෝ බේබද්දෝ දුප්පතාට ගල් මුල් ගසති. විහිළු කරති. ඔවුනට යටත් නුවුව හොත්, කීකරු නොවුවහොත් පහර දෙති. ධනවත්හු දුප්පතාට ඔවුන් ගේ තේජස, වික්‍ර‍මය පෙන්වති. දුප්පතාට කොතැනකවත් ගැළවීමක් නැත. දුප්පතාට නිදහසක් නැතිවාක් මෙන් ම, මේ රූපස්කන්ධ සංඛ්‍යාත ශරීරයට ද නිදහසක් නැත. උකුණෝ, මකුණෝ, මදුරුවෝ ශරීරය විදිති. අව්ව, වැස්ස, පින්න, සුළඟ ශරීරයට පීඩා කරයි. එබැවින් මේ රූපස්කන්ධ සංඛ්‍යාත ශරීරය දුප්පතකු වැනි ය. ඉමහත් ආදීනවයෙකි.

පඤ්චක්ඛන්ධෙ ආදීනවතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අනාදීනවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් ආදිනවයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය ආදීනව නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

25. විපරිණාම ධම්ම

පස්විසිවන භාවනා පදය.

සංස්කාරයෝ පෙරළෙන ස්වභාව ඇත්තෝ ය.

ස්ථිර පැවැත්මක් නැති ස්කන්ධයෝ ජරා, ව්‍යාධි, මරණාදියෙන් නරක අතට පෙරළෙන්නෝ ය. ශෝභන ශරීරය කුෂ්ඨාදි රෝගාවලින් විරූප වන්නේ ය. තුවාල වලින් විරූප වන්නේ ය. ශක්තිමත් ශරීරය ව්‍යාධියෙන් දුබල වන්නේ ය. තරුණ ශරීරය කලකදී දිරා, හිසකේ රැවුල් පැසී, ඇට නහර ඉල්පී, සම රැළි වැටී, කුදු ගැසී විකෘතියට පත් වන්නේ ය. ක්‍රියා කරමින් තුබූ ශරීරය මරණින් දරකඩක් බඳු වන්නේ ය. මළ සිරුර එසේ ම තිබෙන්නට හැරිය හොත් දින කීපයකින් ඉදිමෙන්නේ ය. නිල් පැහැ වන්නේ ය. නවදොරින් ඕජාව ගලන්නට වන්නේ ය. කුණු වී වැගිරෙන්නට පටන් ගන්නේ ය. ලේ මස් දිය වී ගොස් ඇට සැකිල්ලක් වන්නේ ය. කලකදී ඇට ද විසිරී යන්නේ ය. මේ රූපස්කන්ධයේ විපරිණාමය ය.

නාමස්කන්ධයන් ගේ විපරිණාමයක් ද ඇත්තේ ය. එය සිදුවන්නේ අසත්පුරුෂ සේවනාදියෙනි. නාමස්කන්ධ විපරිණාමයෙන් සම්‍යග්දෘෂ්ටිකයා මිථ්‍යාදෘෂ්ටිකයෙක් වේ. අහිංසකයා වධකයෙක් වේ. නො සොරා සොරෙක් වේ. යහපත් චරිත ඇතියා සල්ලාලයෙක් වේ. සත්‍යවාදියා බොරුකාරයෙක් වේ. අබේබද්දා බේබද්දෙක් වේ. ලජ්ජා ඇතියා ලජ්ජා නැතියෙක් වේ. මෛත්‍රිය ඇත්තා නපුරෙක් වේ. ත්‍යාගවන්තා මසුරෙක් වේ. සමාධි ඇත්තා වික්ෂිප්තයෙක් වේ. සිහි ඇත්තා උම්මත්තකයෙක් වේ. තවුසා කාමභෝගියෙක් වේ. පැවිද්දා ගිහි වේ. මේ නාමස්කන්ධයන් ගේ විපරිණාමය ය.

“පඤ්චක්ඛන්ධෙ විපරිණාමධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අවිපරිණාමධම්මං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් පෙරළෙන ස්වභාව ඇතියන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය නො පෙරළෙන ස්වභාවය ඇති නිවන ය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

26. අසාරකා

සවිසිවන භාවනා පදය.

ස්කන්ධයෝ හර නො වන්නෝ ය.

කොස්, දෙල්, නැදුන්, බුරුත ආදී ගස්වන ලෙහෙසියෙන් පලුදු කළ නො හෙන ඉක්මනින් නො දිරන නො නැසෙන ඇතුළු කොටස අරටුව ය. ලෙහෙසියෙන් පලුදු කළ හැකි ඉක්මනින් දිරා යන පිටපැත්ත ඵලය ය. සත්ත්වයාය කියනු ලබන මේ ස්කන්ධ පඤ්චකය වානේ කඳක්, කළුගලක්, කොස් අරටුවක්, දෙල් අරටුවක් සේ ඕනෑ දෙයකට ඔරොත්තු දීමේ ශක්තිය ඇති දෙයක් නො ව, ඵලයක් සේ දුබල එකකි. එය කෙසෙල් කඳක් පෙණපිඬක් වැනි ය යි කීමට ද සුදුසුය. ඵලය අව්වට, වැස්සට, සුළඟට ඔරොත්තු නො දෙන්නාක් මෙන් රූප කය ද ඔරොත්තු නො දේ. දුබල වූ රූප කය මැසි, මදුරු ආදි දුබල සතුන්ට ද පලුදු කළ හැකි ය. බලු, සිවල්, බළල් ආදීන්ට ඉරිය හැකි ය. කොටි, වලස් ආදීන්ට ඉරා රැල් කළ හැකිය. අලියාට කෙලෙස් කඳක් පතුරුගසන්නාක් මෙන් අත් පා ගලවා දැමිය හැකිය. දිරූ බටපොතු පෙට්ටියක් පොඩි කරන්නාක් මෙන් කඳ පාගා පොඩි කර දැමිය හැකි ය. අරූපාස්කන්ධයන් ගේ දුබල බව, නිසරු බව නිසා සත්ත්වයනට යම් කිසි අධිෂ්ඨානයක, ප්‍ර‍තිපත්තියක පිහිටා සිටීමට නුපුළුවන් වේ. සතුන් නො මරන්නට අධිෂ්ඨාන කර ගෙන සිටින්නා වටිනා දෙයක් ලෙහෙසියෙන් ගත හැකි වන විට අධිෂ්ඨානය බිඳ සොරකම් කරයි. පරදාර සේවනය නො කරන්නට අධිෂ්ඨාන කරගෙන සිටින්නා අවස්ථාව පැමිණි කල්හි අධිෂ්ඨානය බිඳ වරද කරයි. බොරු නො කියන්නට අධිෂ්ඨාන කරගෙන සිටින්නා කරුණක් පැමිණි කල්හි අධිෂ්ඨානය බිඳ බොරු කියයි. සුරාපානය නො කරමියි අධිෂ්ඨාන කරගෙන සිටින්නා සුරාව ලද කල්හි අධිෂ්ඨානය බිඳ සුරාපානය කරයි. දුම් බීමෙන් වැළකී සිටීමට අධිෂ්ඨාන කරගත් තැනැත්තා අධිෂ්ඨානය බිඳ දුම් බොන්නට පටන් ගනී. සූදුවෙන් වැළකීමේ අධිෂ්ඨානය ඇති ව සිටි තැනැත්තේ අධිෂ්ඨානය බිඳ සූදුවට යයි. දිනපතා තෙරුවන් වැඳීමේ ප්‍ර‍තිපත්තිය පවත්වන තැනැත්තා ඒ ප්‍ර‍තිපත්තිය කඩ කරයි. පොහොය සිල් සමාදන්වීමේ ප්‍ර‍තිපත්තිය පවත්වන තැනැත්තා එය කඩ කරයි. විකල් බොජුනෙන් වැළකී සිටින තැනැත්තා ඒ ප්‍ර‍තිපත්තිය කඩයි. මුදල් පරිහරණයෙන් වැළකී සිටින තැනැත්තා ඒ ප්‍ර‍තිපත්තිය කඩයි. නාමස්කන්ධයන් ශක්තිමත් නම් ඒ අධිෂ්ඨාන-ප්‍ර‍තිපත්ති නො බිඳේ.

දුබල වූ නිසරු වූ පඤ්චස්කන්ධය මම ය, මාගේ ආත්මය ය, මාගේ පිහිටය යි සලකාගෙන පඤ්චස්කන්ධයෙහි ඇලී සිටීම ඉතා භයානක කරුණෙකි. අන්තරායෙකි. එ බැවින් නුවණැත්තෝ ඒ දුබල නිසරු පඤ්චස්කන්ධය හැර එහි අනුත්පාද නිරෝධය වූ සාර වූ පරම ශාන්තිය සොයාගෙන දුකින් මිදෙන්නාහ.

“පඤ්චක්ඛන්ධෙ අසාරතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ සාරං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

“පඤ්චස්කන්ධයන් අසාර වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානයක් ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාදනිරෝධය සාරවූ නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.”

27. අඝමූලා

සත්විසිවන භාවනා පදය.

ස්කන්ධයෝ පාපයේ මූලයෝ ය.

පඤ්චස්කන්ධය ඇති කල්හි එය පෝෂණය කිරීමට ආරක්ෂා කිරීමට පිනවීමට හා අඹුදරු ආදීන් නිසා ද, වරින්වර ඇති වන රාග ද්වේෂ ඊර්ෂ්‍යාදි ක්ලේශයන් නිසා ද නොයෙක් පව්කම් කරන්නට සිදු වේ. පව් කිරීමේ නොයෙක් හේතු ඇතත් පඤ්චස්කන්ධයක් නැති නම් පව්ය කියා දෙයක් ඇති නො වන බැවින් පාපයේ මූල හේතුව පඤ්චස්කන්ධය ම බව කිය යුතු ය. පඤ්චස්කන්ධය ආත්ම කොට ගෙන එහි ඇලී සිටින්නහුට පවින් තොරව නො විසිය හැකි ය. එ බැවින් පුණ්‍ය පිණ්ඩයක් වශයෙන් සැලකිය යුතු මහා බෝධිසත්ත්වයන් අතින් පවා නොයෙක් විට පව්කම් කෙරේ. සෙස්සන් ගැන කියනු කිම? සත්ත්වයාහට පව්කම් කරන්නට සිදුවීම තරම් තවත් නපුරක් නැත. ව්‍යාධි ජරා මරණ ඥාතිව්‍යසන භෝගව්‍යසනාදි මේ මිනිස්ලොව ඇති දුක, පව් කිරීමෙන් ලැබෙන නරකදුඃඛය හා සසඳා බලතහොත් මිනිස්ලොව ඇති දුඃඛස්කන්ධය ඉතා සුළුය. පව් කිරීමෙන් ලැබෙන අපායදුඃඛය මහපොළොවට උපමා කරතහොත් මිනිස්ලොව ඇති දුඃඛය මහපොළොවෙන් නියපොත්තකට ගත් පස් ස්වල්පයකට උපමා කළ යුතුය. යෝගාවචරයන්ට සංවේගය ඇතිවීම පිණිස ඒ අපායදුඃඛය ගැන ද කල්පනා කළ යුතුය. එ බැවින් නිමි ජාතකයෙහි එන අපාය විස්තර දක්වනු ලැබේ.

නිමි ජාතකයෙහි එන අපාය විස්තර

පව්කාරයන් පැසෙන ස්ථාන වූ අපායයන් දක්වනු සඳහා මාතලී දිව්‍යපුත්‍ර‍යා ඔහුගේ රථයෙහි හිඳවාගෙන නිමි රජතුමා වේතරණී නම් ඔසුපත් නරකය වෙත ගෙන ගියේ ය. ඒ වේතරණිය කරදිය ගඞ්ගාවෙකි. එහි දෙඉවුර පුවක්ගස් පොල්ගස් පමණ මහත් වූ ඉතා තියුණු කටු ඇති වේවැල් පඳුරුවලින් වැසී ඇත්තේ ය. ඒවා යට තල්කඳන් පමණ මහත් වූ ගිනියම් වූ යහුල් පිහිටා ඇත්තේ ය. ගඟදිය ද දැලිපිහියා සේ කැපෙන පත්‍ර‍ ඇති නෙළුම්ගස්වලින් වැසී ඇත්තේ ය. ගඟපත්ලෙහි ද තියුණු මුව ඇති පිහිතල උඩුකුරු ව පිහිටා ඇත්තේ ය. එහි උපදනා නිරිසතුන් යමපලුන් විසින් දඬුමුගුරුවලින් තළා හුලින් ඇණ වේපඳුරුවලට විසි කරති. ඔවුහු වේකටුවල ඇවිණී කලක් හඬමින් විලාප කියමින් දුක්විඳ වේකටු වලින් ගිලිහී වැටී බිම පිහිටි ගිනියම් වූ යහුල්වල ඇවිණෙති. දිගුකලක් යහුල්වල ඇවිණී දුක් විඳ ඒවායින් මිදී ගඟ දිය මත කැපෙන පත් ඇති නෙළුම් පඳුරු මත පතිත වන්නාහ. නිරිසත්හු ඒවා මත කලක් කැපෙමින් දුක් විඳ කරදියෙහි වැටෙන්නාහ. ඔවුහු රත් වූ කරදියෙහි දුම් නගමින් පැසී ගඟපත්ලට බස්නාහ. එහිදී ද කැපී නැවත මතු වී කරදියේ ඒ මේ අත පාවෙන්නාහ. එසේ පාවන නිරිසතුන්ට යමපල්ලෝ මසුන්ට මෙන් හුල්වලින් අණිති. බිලීකොකුවලින් අමුණා ඔවුන් ගොඩට ඇද ගිනියම් යපොළොවෙහි පෙරළා ගිනියම් වූ ලොහොගුළි කවති. ඒ දුක්දීම දැක බියපත් වූ නිමිරජතුමා මේ සත්ත්වයෝ මිනිස්ලොවදී කිනම් පාපයක් කළාහු දැයි මාතලීගෙන් විචාළේ ය. මාතලී දෙව්පුත් නිමිරජුට ඔවුන් කළ පව්කම් මෙසේ ප්‍ර‍කාශ කෙළේ ය.

“යේ දුබ්බලේ බලවන්තා ජීවලෝකේ

හිංසන්ති රෝසන්ති සුපාපධම්මා,

තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තෙ මෙ ජනා වේතරණිං පතන්ති.”

“මේ ලෝකයෙහි බැණීමෙන් හා අත්පාවලින් පහර දීමෙන් දුබලයන්ට හිංසා කරන්නා වූ බලවත්හු ඒ පව්වලින් මරණින් මතු වේතරණියට වැටෙත්ය” යනු එහි අදහස ය.

ඉක්බිති මාතලී දෙව්පුත් නිමිරජ අන් නරකයක් වෙත ගෙන ගියේය. එහි තුන්ගවු පමණ ශරීර ඇති නිරිසත්හු ඇතුන් පමණ ඇති මහ බල්ලන් විසින් එලවාගෙන ගොස් කෙණ්ඩා මාංසයෙන් අල්ලා බිම පෙරළා මහහඬින් බුර බුරා පපුව පාගාගෙන මස් ගළවා කා ඇට පමණක් ඉතිරි කරති. බරකරත්ත පමණ ශරීර ඇති ලොහොතුඩු ඇති ගිජුලිහිණීහු ඔවුන්ගේ හොටින් නිරිසතුන්ගේ ඇට පොඩි කර ඇට මිදුලු කති. ලොහොතුඩු ඇති භයානක කපුටෝ දුටු තැන නිරිසතුන්ගේ මස් කොට කති. හඬ හඬා දුක් විඳිනා වූ ඒ නිරිසතුන් දැක බියපත් වූ නිමිරජතුමා ඔවුන් කළ පව්කම් විචාළේ ය. මාතලී දෙව්පුත් ඔවුන්ගේ පව්කම් මෙසේ පැවසී ය.

“යෙ කේචිමේ මච්ඡරිනෝ කදරියා

පරිහාසකා සමණබ්‍රාහ්මණානං

හිංසන්ති රොසන්ති සුපාපධම්මා

තෙ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තෙමේ ජනෙ කාකෝළ සඞ්ඝා, අදන්ති.”

මිනිස්ලොව මසුරුකම නිසා ශ්‍ර‍මණබ්‍රාහ්මණයන්ට දොස් කියන්නා වූ ඇතැම්හු ශ්‍ර‍මණබ්‍රාහ්මණයන්ට හිංසා කෙරෙති, බණිති. මේ නරකයේ දී ඔවුන්ගේ මස් කපුටෝ කොටා කතිය” යනු එහි අදහස ය.

ඉක්බිති මාතලී දෙව්පුත් නිමිරජ අන් නරකයක් වෙත ගෙන ගියේ ය. එහි බැලිය නො හෙන තරමට භයානක වූ මුහුණු ඇති යමපල්ලෝ තල්කඳන් පමණ යපොලු ගෙන ගිනියම් වූ යපොළොවෙහි හැසිරෙන නිරි සතුන් එළවා ගොස් යපොලුවලින් කකුල්වලට පහර දී බිම පෙරළා ඒ පොල්ලෙන් ම තළ තළා ඔවුන් සුනු විසුනු කරති. එය දැක රජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී දෙව්පුත් මෙසේ පැවසී ය.

“යේ ජීවලොකස්මිං සුපාපධම්මිනෝ

නරඤ්ච නාරිඤ්ච අපාපධම්මං

හිංසන්ති රෝසන්ති සුපාපධම්මා

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තෙ මේ ජනා බන්ධහතා සයන්ති.”

“මිනිස්ලොව වරද නැති ස්ත්‍රී පුරුෂයන්ට හිංසා කරන බණින පව්කාරයෝ මෙහි යපොලුවලින් තළනු ලැබ නිදතිය” යනු එහි අදහස ය.

ඉක්බිති නිමිරජ අන් නරකයක් වෙත පමුණුවන ලදි. එහි මහ ගිනිඅඟුරු වළෙකි. යමපල්ලෝ එහි උපන් පාපකාරීන් වටකොට ගිනියම් වූ යපොලුවලින් හා ආවුධවලින් පහර දෙමින් ගවයන් ගාලකට එළවන්නාක් මෙන් අඟුරුවළකට පන්නති. අඟුරුවළ වැටුණු පව්කාරයෝ තුනටිය තෙක් ගිනිඅඟුරෙහි එරෙති. යමපල්ලෝ මහත් වූ කූඩාවලින් ගිනි අඟුරු ගෙන ඔවුන්ගේ හිස්මත දමති. පව්කාරයෝ වේදනාව ඉවසිය නො හී හඬමින් දඟලති. ඇතැම් නිරිසත්හු සිහිසන් නැති ව තුමූ ම දෝතින් ගිනිඅඟුරු ගෙන හිස ලා ගනිති. ඒ වධය දැක බියපත් වූ නිමිරජතුමා ඔවුන් කළ පව් කවරේදැ යි විචාළ කල්හි මාතලී මෙසේ පැවසී ය.

“යේ කේචි පූගාය ධනස්ස හේතු

සක්ඛිං කරිත්වා ඉණං ජාපයන්ති,

තේ ජාපයිත්වා ජනතං ජනින්ද

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා අඞ්ගාරකාසුං ඵුනන්ති.”

“මිනිස්ලොව දන් දෙන්නටය, විහාර චෛත්‍ය කරවන්නටය, දහම්හල් සඞ්ඝාවාස කරවන්නට ය කියා මහජනයාගෙන් මුදල් එකතුකොට ඒවා නො කරවා මුදල් කා දමා ජනයා රැවටූ හොර සම්මාදන් කාරයෝ මෙහි පැමිණ හිස ගිනි අඟුරු ලා ගනිතිය” යනු එහි අදහස ය.

ඉක්බිති නිමිරජ අන් නරකයක් වෙත පමුණුවන ලද්දේ ය, එහි මහා ලෝදිය වළෙකි. එහි උපන් පව්කාරයෝ භයානක යමපල්ලන් විසින් පයින් අල්ලා ලොහොදිය වළට, හිස යටට හැරී වැටෙන සේ විසි කරනු ලබති. නිරිසත්හු ලෝදියෙහි ගැලෙමින් මතු වෙමින් පෙණ දම දමා පුපුර පුපුරා පැසෙති. එහෙත් කර්මබලය නිසා නො මැරෙති. ඔවුන් දැක බියපත් වූ නිමිරජ ඔවුන් කල පව් විචාරන ලදින් මාතලී දෙව්පුත් මෙසේ පැවසී.

“යේ සීලවන්තං සමණං බ්‍රාහ්මණං වා

හිංසන්ති රෝසන්ති සුපාපධම්මා

තේ ලද්දුකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා අවංසිරා ලෝහකුම්භිං පතන්ති.”

“සිල්වත් ගුණවත් පැවිද්දන්ට හා බමුණන්ට හිංසා කළ තර්ජනය කළ පාපකාරීහු හිස පහළට වැටෙන සේ හෙළනු ලැබ මේ ලෝදිය වළෙහි පැසෙත්ය” යනු එහි අදහස ය.

ඉක්බිති නිමිරජ අන් නරකයකට ගෙන යනු ලැබී ය. එහි තුන්ගව් පමණ ශරීර ඇති නිරිසතුන්ගේ බොටුවට ගිනියම් වූ ලොහො යොත් දමා පහළට ඇද තද කොට හිස සිඳ දණ්ඩක අවුණා ගෙන ගොස් ලෝදිය සැලකට දමා එය බලමින් යමපල්ලෝ සන්තෝෂ වෙති. කර්මබලයෙන් හිස් සුන් ශරීරවල නැවතත් අලුත් හිස් පැන නඟී. යමපල්හු නැවත නැවතත් ඔවුන්ගේ හිස් සිඳ ලොහොදිය සැළට දමති. නිමිරජතුමා ඒ නිරිසතුන් කළ පව්කම් විචාරන ලදි. මාතලී මෙසේ පැවසී.

“යේ ජීවලෝකස්මිං සුපාපධම්මිනෝ

පක්ඛී ගහෙත්වාන විහේඨයන්ති තෙ

විහේඨයිත්වා සකුණං ජනින්ද

තේ ලද්දකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා ලුත්තසිරා සයන්ති.”

“මිනිස්ලොව පක්ෂීන් අල්ලා මරන්නෝ ඒ පවින් මෙහි සුන් වූ හිස් ඇති ව ශයනය කෙරෙත්ය” යනු එහි අදහස ය.

ඉක්බිති රජු අන් නරකයකට පැමිණ වී ය. එහි නො ගැඹුරු තොට ඇති දර්‍ශනීය ගඞ්ගාවෙකි. ඒ නරකයෙහි ගිනි රස්නයෙන් හටගත් බලවත් පිපාසයෙන් පෙළෙන නිරිසත්හු පිපාසය ඉවසිය නො හැකිව ගිණියම් වූ යපොළොව පාගමින් පැන් බීමේ අදහසින් ඒ ගඟට බසිති. එකෙණෙහි ම ගං ඉවුර ගිනි ගනී. ගඟ දිය ගිණියම් ව බොල් වී වෙයි. පිපාසය ඉවසිය නො හෙන නේරයිකෝ කරන්නට අනිකක් නැත්තෙන් ඒ ගිනියම් වූ බොල් වී දෝතින් ගෙන කති. ඒ බොල් ඔවුන්ගේ ශරීරයේ ඇතුළු පැත්ත ද දවාගෙන අධෝමාර්ගයෙන් නික්මෙයි. නිමිරජතුමා ඒ නරකය දැක එහි දුක් විඳින්නවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී මෙසේ පැවසී.

“යේ සුද්ධ ධඤ්ඤං පලාසේන මිස්සං

අසුද්ධකම්මා කයිනෝ දදන්ති,

ඝම්මාභිතත්තානං පිපාසිතානං

පිවතං ච තේසං ථුසං හෝති පානී.”

“මිනිස්ලොව බොල් මිශ්‍ර‍ කොට ජනයා රවටා වී විකුණූ සොරහු මෙහි ඉපද ගිනියම් වූ වී බොල් ගිලිතිය” යනු එහි අදහස ය.

ඉක්බිති රජතුමා අන් නරකයක් වෙත පමුණුවනු ලැබී ය. එහි යමපලුන් එකතු වී දුනු හී ආදිය ගෙන නිරිසතුන් වට කොට, වනයෙහි වැද්දන් මුවන්ට විදින්නාක් මෙන් විදිති. ඔවුන් ගේ ශරීර සැම තැනින් ම සිදුරු වී පණුවන් කෑ කොළ මෙන් වෙයි. රජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී මෙසේ කීය.

“යේ ජීවලෝකස්මිං අසාධු ධම්මිනෝ

අදින්නමාදාය කරොන්ති ජීවිකං

ධඤ්ඤං ධනං රජතං ජාතරූපං

අජේලකං චාපි පසුං මහීසං

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා සන්ති හතා සයන්ති.”

“මිනිස්ලොව අනුන්ගේ රන් රිදී වී සහල් ආදි වස්තූන් හා ගවාදි සතුන් සොරකම් කිරීමෙන් දිවි පැවැත්වූ පව් කාරයෝ මේ නරකයෙහි යමපලුන් විසින් විදිනු ලැබ වැටී සිටිතිය.” යනු එහි අදහස ය.

ඉක්බිති රජු හා මාතලී අන් නරකයක් වෙත ගියෝ ය. එහි යමපල්හු ගිනියම් වූ යකඩ කඹ ගෙන තුන්ගවු පමණ ශරීර ඇති නිරිසතුන්ගේ බෙල්ලට දමා ඔවුන් ගිනියම් වූ යපොළොවෙහි පෙරළා ආවුධ ගෙන ඔවුන්ගේ මස් කපති. මස් කපා ගොඩ ගසති. එය දුටු නිමිරජු ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී මෙසේ කීය.

“ඕරබ්භිකා සූකරිකා ච මච්ඡිකා

පසුං මහිංසඤ්ච අජෙලකඤ්ච,

හන්ත්වාන සූනේසු පසාරයිංසු

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා බිලකතා සයන්ති

“මිනිස් ලොව ඌරන් එළුවන් බැටළුවන් ගවයන් මරා තවත් නොයෙක් සතුන් මරා මස් විකුණා දිවි පවත්වන්නෝ මේ නරකයේ කඩ කොට කපනු ලැබ ශයනය කෙරෙත්ය” යනු එහි අදහස ය.

ඉක්බිති මාතලී දෙව්පුත් රජු හා අන් නරකයක් වෙත ගියේ ය. එහි දුම් දමමින් පැසෙන මලමුත්‍ර‍ පිරී ඇත්තේ ය. දුර්ගන්ධය නිසා යොදුන් ගණනකට ද ළං විය නො හැකි ය. එහි සාගින්නෙන් පෙළෙන නිරිසතුන්ට අහරක් නැත. සාගින්න ඉවසිය නො හෙන නිරිසත්හු දුම් නංවමින් පැසෙන ඒ අසූචි ගුළි කොට ගෙන අනුභව කෙරෙති. රජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී දෙව් පුත් මෙසේ කීය.

“යේ කේචි මේ කාරණිකා විරෝසකා

පරේසං හිංසාය සදා නිවිට්ඨා,

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

මිත්තද්දුනෝ මිළ්හමදෙන්ති බාලා.”

“මිනිස්ලොව අනුන්ට වද දෙන්නෝ ද මිතුරන්ටත් කරදර කරන්නෝ ද අනුන්ගෙන් කාබී ඔවුන්ගේ ගෙවල හිඳ ඔවුන්ගේ අසුන්වල ම නිදා පසුප ඒ උපකාර කළ මිතුරන්ගෙන් ම ධනය පැහැර ගන්නා වූ ඔවුන්ගෙන් අල්ලස් ගන්නා වූ මිත්‍ර‍ද්‍රෝහීහු ද මේ නරකයෙහි ගිනියම් වූ අසූචි අනුභව කෙරෙත්ය” යනු එහි අදහස ය.

ඉක්බිති නිමිරජතුමා අන් නරකයක් වෙත ගෙන ගියේ ය. එහි කුණු වූ ලේ සැරව පිරුණු විලෙකි. නරකයේ ඇති තද උෂ්ණයෙන් හටගත් බලවත් පිපාසය සංසිඳවා ගැනීම සඳහා බීමට පැනක් නැති නිරිසත්හු ඒ විලෙහි කුණු ලේ සැරව බොති. රජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී මෙසේ කීය.

“යේ මාතරං පිතරං වා ජීවලෝකේ

පාරාජිකා අරහන්තේ හනන්ති,

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා ලෝහිතපුබ්බභක්ඛා.”

“මිනිස් ලොව මව හෝ පියා මරා ගිහි පාරාජිකාවට පත් වූවෝ ද පූජා සත්කාර කිරීමට සුදුසු ගුණවත් පුද්ගලයන් නැසුවා වූ පාපී පුද්ගලයෝ ද මෙහි කුණු ලේ සැරව බොතිය” යනු එහි තේරුම ය.

ඉක්බිති රජතුමා අන් නරකයක් වෙත පැමිණ වී ය. එහි යමපල්හු තල්කඳන් පමණ මහත් වූ ගිනියම් වූ බිලී කොකු නිරිසතුන්ගේ දිවෙහි අවුණා ගිනියම් වූ යපොළොවෙහි හොවා හුල් වලින් අණිති. නිරිසත්හු කෙළ පෙරමින් දියෙන් ගොඩ දැමූ මසුන් මෙන් දඟලති. රජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී මෙසේ කී ය.

“යේ කේචි ස්නථානගතා මනුස්සා

අග්ඝෙන අග්ඝං කයං හාපයන්ති,

කූටේන කූටං ධනලෝභහේතු

ඡන්නං යථා වාරිචරං වධාය.

.

නහි කූටකාරිස්ස භවන්ති තාණ,

සකේහි කම්මේහි, පුරක්ඛතස්ස,

තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං

තේ මේ ජනා වඞ්කඝස්තා සයන්ති.”

මිනිස්ලොව බඩුමි නියම කිරීමේ තනතුර ලබා සිට බඩු ගන්නවුන්ගෙන් අල්ලස් ගෙන වටිනා බඩුවල මිල පහත දමන කෛරාටිකයෝ ද කිරීමේ දී හා මැනීමේ දී අඩු වැඩි කොට හොරට කිරා හොරට මැන මිහිරි වදනින් ජනයා රවටා මුදල් පැහැර ගන්නා කපටි මුදලාලිලා ද මෙහි ගිනියම් වූ යබිලි දිවෙහි අමුණන ලදුව ගිනියම් වූ යපොළොවෙහි නිදතිය” යනු එහි අදහස ය.

ඉක්බිති නිමිරජු අන් නරකයක් වෙත පැමිණ වී ය. එහි ස්ත්‍රීහු කයින් අඩක් ගිනියම් වූ යපොළොවෙහි එරී සිටවනු ලැබූ කණු මෙන් නිසල ව සිටිති. එක් දිශාවකින් ඇඹරුම් ගලක් බඳු යකඩ පර්වතයක් නැඟී ගිනිදැල් විහිදුවමින් හෙනහඬ සේ මහ හඬ නංවමින් යපොළොවෙහි එරී සිටින ස්ත්‍රීන්ගේ ශරීර සුනුවිසුනු කරමින් පෙරළී යයි. ඇසිල්ලකින් කර්මබලයෙන් ඔවුන්ගේ ශරීර ප්‍ර‍කෘතිමත් වෙයි. ඉක්බිති අන් දිශාවකින් එබඳු ම යකඩ පර්වතයක් නැගී ස්ත්‍රීන්ගේ සිරුරු සුනුවිසුනු කෙරෙමින් පෙරළෙයි. සමහර විට දෙදිසාවකින් ම පර්වත නැඟී එකවර පෙරළී එයි. සමහරවිට සතරදිගින් ම පර්වත නැගී එක්වර පෙරළී එයි. නිමිරජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී දෙව්පුත් මෙසේ කී ය.

“කෝලිනියායෝ ඉධජීවලෝකේ

අසුද්ධ කම්මා අසතං අචාරුං

තා දිත්තරූපා පති විප්පභාය

අඤ්ඤං අචාරුං රතිඛිඩ්ඩහේතු

තා ජීවලෝකස්මිං රමාපයිත්වා

ඛන්ධාති වත්තන්ති සජෝතිභූතා.”

“ආහාරපාන වස්ත්‍රාභරණ සපයා දීමෙන් තමන් පෝෂණය කරන හිමියන් හැර, පරපුරුෂයන් සතුටු කර වන්නා වූ ඔවුන් හා කම්රතියෙන් සතුටු වන්නා වූ පාපස්ත්‍රීහු මෙහි ගිනියම් වූ යපොළොවෙහි පර්වතවලින් ඇඹරෙතිය” යනු එහි අදහස ය.

ඉක්බිති මාතලී රජු කැටුව අන් ඔසුපත් නරකයක් වෙත ගියේ ය. එහි මහ ගිනි අඟුරු වළෙකි. යමපල්හු නානා ආයුධවලින් පහර දෙමින් නිරිසතුන් අඟුරුවළ කරා පන්නාගෙන ගොස් දෙපයින් අල්ලා ඔවුන් අඟුරුවළට හෙළති. එය දුටු රජතුමා ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී දෙව්පුත් මෙසේ කීය.

“යේ ජීවලෝකස්මිං අසාධුකම්මිනෝ

පරස්ස දාරානි අතික්කමන්ති,

තේ තාදිසා උත්තමභණ්ඩථෙනා

තේ මේ ජනා අවංසිරා නරකේ පාතයන්ති.”

“මිනිසුන්ගේ උත්තම භාණ්ඩයන් වූ ඉතා ඇලුම් කරන භාර්ය්‍යාවන් හා සොරෙන් කම්රතියෙහි යෙදුණා වූ පාපපුරුෂයෝ මෙහි පයින් අල්ලා හිස පහළට වැටෙන සේ අඟුරුවළට හෙළනු ලබත්” යනු එහි අදහස ය.

ඉක්බිති මාතලී දෙව්පුත් නිමිරජු සහිත වූ දිව්‍යරථය අන් නරකයක් වෙත පැදවී ය. එහි යමපල්හු බිමපෙරළා හුල්ගැසීම් හරස් කියතින් ශරීරය කැපීම් වෑයෙන් සැසීම් ලොහොදිය පෙවීම් ලොහොගුළි කැවීම් ආදි වශයෙන් අනේක ප්‍ර‍කාරයෙන් නිරිසතුන්ට වද දෙති. ඒවා දැක බියපත් වූ නිමිරජු ඔවුන් කළ පව්කම් විචාළ කල්හි මාතලී දෙව්පුත් මෙසේ පැවසීය.

“යේ ජීවලෝකස්මිං සුපාපදිට්ඨිනෝ

විස්සාසකම්මානි කරොන්ති මෝහා,

පරඤ්ච දිට්ඨිසු සමාදපෙන්තී

තේ පාපදිට්ඨිසු පසවෙත්‍වා පාපං

තේමේ ජනා අධිමත්තා දුක්ඛා තිබ්බා

ඛරා කටුකා වේදනා වේදයන්ති.”

“පරලොවක් නැත, පින්පව්වල විපාකයක් නැත යනාදීන් මිසදිටු ගෙන එය පිහිට කොට තුමූ ද නොයෙක් විපරම් කරමින් අන්‍යයන්ට ද ඒ මිථ්‍යාදෘෂ්ටිය ගැන් වූ අඥයෝ මෙහි තියුණු වූ කටුක වූ දුක්වේදනා විඳිත් ය” යනු එහි අදහස ය.

නරකයෙහි ඇති මේ භයානක දුක් විඳින්නට සිදුවන්නා වූ ද, තිරිසන් ව ප්‍රේත ව දුක් විඳින්නට සිදුවන්නා වූ ද, පව්කම් කෙරෙන්නේ පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. නුවණැත්තෝ විදසුන් වඩා පඤ්චස්කන්ධය හැර දුකින් තොර නිවනට පැමිණෙති.

පඤ්චක්ඛන්ධෙ අඝමූලතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අනඝමූං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.

පඤ්චස්කන්ධයන් අඝමූලයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය අඝමූල නො වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.

28. වධකා

අටවිසිවන භාවනා පදය.

ස්කන්ධයෝ වධකයෝ ය.

මරන්නෝ වධකයෝ ය. වධකයන්ට මැරිය හැක්කේ පඤ්චස්කන්ධයක් ඇතහොත් ය. පඤ්චස්කන්ධය නැති නම් මරන්නෝ නැත, මැරෙන්නෝත් නැත, මරණයක්ය කියා දෙයක් ද නැත. පඤ්චස්කන්ධය ඇතහොත් බාහිර වධකයන් ගේ උපක්‍ර‍මයක් නැත ද ඒකාන්තයෙන් මරණය වෙයි. එහෙයින් නියම මාරයා පඤ්චස්කන්ධයමය යි කිය යුතු ය. “රූපං ඛෝ රාධ, මාරෝ, වේදනා මාරෝ, සඤ්ඤා මාරෝ, සංඛාරා මාරෝ, විඤ්ඤාණං මාරෝ” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් රූපාදි ස්කන්ධ පස මාරයෝ ය යි වදාරා ඇත්තේ ය. වධකයා භයානක පුද්ගලයෙකි. එබැවින් ඔහු දුටු විට ඔහුට හසුවන අය ඉතා බිය වෙති. සතුන් මරන වධකයන්ට වඩා පඤ්චස්කන්ධය නමැති වධකයා භයානක ය. වඩා බිය විය යුත්තේ පඤ්චස්කන්ධය නමැති වධකයාට ය. මරන්නට එන මරන්නට තැත් කරන බාහිර වධකයන් ගෙන් නොයෙක් විට සත්ත්වයන්ට ගැලවෙන්නට පුළුවන. ගැලවෙන්නට උපක්‍ර‍ම ද ඇත්තේ ය. පඤ්චස්කන්ධය නමැති වධකයා නොමරා නවතින්නේ නැත. ඔහුගෙන් ගැලවී නො මැරී සිටීමට කිසිවකුට හැකියාවක් නැත. ගැලවීමට උපක්‍ර‍මයක් ද නැත. එහෙයින් පඤ්චස්කන්ධය නමැති වධකයා ම ඉතා ම භයානක වධකයා බව කිව යුතු ය. බාහිර වධකයකු විසින් මරතත් මරන්නේ එක් වරෙකි. පඤ්චස්කන්ධය නමැති වධකයා එසේ නො වේ. ඔහු එක් එක් පුද්ගලයකු අතීත සංසාරයෙහි අප්‍ර‍මාණ ජාතිවල දී මැරුයේ ය. අනාගතයෙහි ද නිවනට පැමිණෙන තුරු නැවත නැවත ද මරන්නේ ය.

අතිශයින් නපුරු වූ ඉතා භයානක වූ මේ පඤ්චස්කන්ධය නමැති වධකයාගෙන් ගැලවෙන්නට උත්සාහ නො කොට පඤ්චස්කන්ධය මිතුරකු මෙන් සලකා එය මමය කියා ද මාගේය කියා ද ගෙන එහි ඇලී සිටින්නේ අවිද්‍යාව නිසා ය. අවිද්‍යාවට පෙනෙන්නේ වධකයා මිතුරකු ලෙස ය.

පඤ්චස්කන්ධයෙහි ආදීනවය පමණක් නො ව ආස්වාදයක් ද ඇත්තේ ය. ඉෂ්ට රූපයන් හමු වූ කල එයින් සොම්නසක් ප්‍රීතියක් ඇති වන්නේ ය. ඉෂ්ට ශබ්දයක් ඇසුණු කල එයින් සොම්නසක් ප්‍රීතියක් ඇති වන්නේ ය. ඉෂ්ට ගන්ධ ඉෂ්ට රසයන් ලත් කල්හි ඒවායින් සොම්නසක් ප්‍රීතියක් ඇති වන්නේ ය. ඉස්ට ස්පර්ශයක් ලත් කල්හි එයින් සනීපයක් සතුටක් ඇති වන්නේ ය. ඒ පඤ්චස්කන්ධයෙහි ඇති ආස්වාදය ය. ඒ ආස්වාදය ඉතා සුළු ය. ක්ෂණික ය. එකෙණෙහි ම නැති වන්නකි. පඤ්චස්කන්ධයේ ආදීනවය ඉතා මහත් ය. මඳ ආස්වාදයක් ඇති පඤ්චස්කන්ධය සමහරවිට සුළු උපකාරයක් ද කරන සතුරෙකි.

පඤ්චස්කන්ධයේ වධකත්වය මේ උපමාවෙන් තේරුම් ගත යුතු ය. ආරක්ෂා සහිත පොහොසත් මිනිසෙක් වෙසෙයි. ඔහුට දුබල සතුරෙක් ඇති වෙයි. ධනපතියා කවරාකාරයකින් හෝ මැරීමට ඔහු බලාපොරොත්තු වෙයි. එහෙත් ධනපතියා බලවත් බවින් ඔහුට ළංවිය නො හැකි ය. දුබල සතුරා ධනපතියා මැරීමට ඉඩ ලබා ගනු සඳහා ඔහුගේ ගෘහයෙහි සේවකයෙක් වෙයි. ඒ සේවකයා ඉතා හොඳින් වැඩ කරයි. ධනපතියාට ගරු කරයි. ප්‍රිය වචනයෙන් කථා කරයි. ධනපතියා ගේ වස්තුව ඉතා සැලකිල්ලෙන් ආරක්ෂා කරයි. ඒ නිසා ඔහුට ධනපතියා ඉතා සතුටු වෙයි. වඩ වඩා ඔහුට සංග්‍ර‍හ කරයි. ඔහු වඩ වඩා ආභ්‍යන්තිරිකයකු කර ගනී. සතුරා හොඳට ම ධනපතියා ගේ විශ්වාසිකයකු වී අවකාශයක් ලබා ධනපතියා මරා දමයි. ධනපතියාගේ ඒ සතුරා වධකයකු වූයේ ඔහු මැරූ දිනයේ ම නො වේ. යම් දවසක සතුරා ඒ නිවසට පැමිණියා නම් එදා පටන් ම ඔහු වධකයා ය. ධනපතියාට වැඩ කරන නිසා ඔහු වධකයෙක් නො වන්නේ නො වේ. එමෙන් පඤ්චස්කන්ධය නිසා විටින් විට ආස්වාද ලැබෙතත් එයින් මරණය ඒකාන්තයෙන් සිදු වන බැවින් ආස්වාදය ලබා දෙන අවස්ථාවෙහිත් මේ පඤ්චස්කන්ධය වධකයා ම බව තේරුම් ගත යුතු ය. පඤ්චස්කන්ධයෙහි වධකත්වය තේරුම් ගත් නුවණැත්තෝ එහි ගැලී නො සිට එය හැර නිවනට පැමිණ අනන්ත මරණවලින් මිදෙති.

පඤ්චක්ඛන්ධෙ වධකතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අවධකං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් වධකයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය වධක නො වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.

29. විභවා

එකුන් තිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ දියුණුවක් නැත්තෝ ය.

“විභවා” යන මේ භාවනා පදය තේරුම් ගැනීම දුෂ්කර ගැඹුරු කරුණක් දැක්වෙන පදයෙකි. සාමාන්‍ය ජනයාට සංස්කාරයන්ගේ නියම ස්වභාවය වසා සිටින කරුණු සතරක් ඇත්තේ ය. ඒවාට “ඝනය” යි කියනු ලැබේ. ඝන සතර පිළිබඳ සෑහෙන විස්තරයක් පිටකත්‍රයෙහි හා අටුවා ටීකාවලත් නො දක්නා ලැබේ. ඒවා ආචාර්යපරම්පරාවෙන් උගත යුතු ය. ඝනසතර පිළිබඳව අප විසින් ලියන ලද ලිපියක් සතිපට්ඨාන භාවනා විවේචනය (ක්‍ර‍මය) නමැති පොතට ඇතුළු කර ඇත.

සංස්කාර ධර්මයන්ගේ නියම තත්ත්වය නො දන්නා ජනයා බිජුවටකින් පැළයක් සෑදී කල් යාමෙන් අතුපතරින් යුත් මල්පල වලින් යුත් මහගසක් ඇතිවීම, බිජුවටෙහි හෝ එයින් හටගත් පැළයෙහි වර්ධනයකැයි සිතති. පළමුවෙන් මවුකුසයෙහි ඇති වන ඉතා කුඩා දෙයක් වූ කලල රූපය ක්‍ර‍මයෙන් වැඩී කලකදී මහත් ශරීරයක් ඇති ස්ත්‍රියක් පුරුෂයෙක් ඇති වෙතැයි ද සිතති. මහගස කුඩා පැළයේ වැඩීමකින් ඇති වූවක් නො වේ. අඩි පහක් හයක් උසැති මිනිස් සිරුරක් ඇත්තේ ළදරුවාගේ ශරීරය වැඩී මහත්වීමකින් නො වේ. කුඩා පැළය ම මහගසක් වී ඇති සේ පෙනෙන්නේ, ළදරු සිරුර ලොකු මිනිසකු වී ඇති සේ පෙනෙන්නේ, සන්තනි ඝනයෙන් වැසීම නිසා ය. ඒවා එසේ නො වන බව පෙනෙන්නට නුවණින් සන්තනි ඝනය බිඳ ගත යුතු ය.

උපදින උපදින සකල නාමරූපයෝ ම ඇසිපිය හෙළන තරම් කාලයකුදු නො පැවතී එකෙණෙහි ම බිඳී අතුරුදහන් වෙති. ගසක සත්ත්ව ශරීරයක උපන් රූප කලාප බුන් කල්හි එකෙණෙහි ම ඒ ස්ථානය පුරවමින් අලුත් රූප කලාපයෝ පහළ වෙති. මෙය ඉතා වේගයෙන් සිදුවන බැවින් පරණ රූප බිඳීම හා අලුත් රූප පහළවීම නො පෙනේ. අතර නො පෙනෙන පරිදි සිදුවන මේ ඉපදීම් බිඳීම් වේගය සන්තති ඝනය යි. සන්තති ඝනය නිසා බිඳීගිය රූප හා ඇති රූප එක් දෙයක් සේ පෙනේ. සන්තති ඝනය නිසා දැන් ඇත්තේ ද ඊයේ සිටි පුරුෂයා ම ය, අවුරුදු ගණනකට පෙර සිටි පුරුෂයා ම ය යන හැඟීම් ඇති වේ. සන්තති ඝනය බිඳගත් කල්හි අද ඇත්තේ ඊයේ සිටි පුරුෂයා නො වන බව ඊයේ තුබූ ගස නො වන බව වැටහෙනු ඇත. උපදින උපදින සංස්කාර එකෙණෙහි ම දිරා බිඳී යනවා මිස වර්ධනය වෙමින් මහත් වෙමින් කල් නො පවත්නා බව වැටහෙනු ඇත. මෙය වටහා ගැනීමට උත්සාහ කෙරෙත්වා!

“පඤ්චක්ඛන්ධෙ විභවතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අවිභවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් දියුණුවට නො පැමිණෙන එකෙණෙහි ම නැසෙන ධර්මන් ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය විනාශයක් නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

30. සාසවා

තිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ ආශ්‍ර‍වයන් ඇති කරන්නෝ ය.

කාමාසවය, භවාසවය, දිට්ඨාසවය, අවිජ්ජාසවය කියා ආසව නාමයෙන් දැක්වෙන සංස්කාරස්කන්ධයට අයත් ධර්ම සතරක් ඇත්තේ ය. රූපශබ්දාදි කාමයන් පිළිබඳ වූ ද කාමභවයට අයත් අවශේෂ සංස්කාරයන් පිළිබඳ වූ ද ආශාව කාමාසව නමි. රූපාරූප භවයන්හි ඉපදීමට හේතු වන ධ්‍යානකුශලය හා රූපාරූප භවයන් පිළිබඳ ආශාව භවාසව නමි. සත්කායදෘෂ්ට්‍යාදි දෘෂ්ටීහු දිට්ඨාසව නමි. මෝහය අවිජ්ජාසව නමි. සත්ත්වසන්තානයෙහි මේ ආසවයන් ඇති තාක් සත්ත්වයාහට පඤ්චස්කන්ධය හැර එයින් මිදී නිවනට නො පැමිණිය හැකි ය. දුකින් මිදී නිවනට පැමිණීමට නම් විදර්ශනා ඥානය දියුණු කොට එහි බලයෙන් ආසවයන් නැසිය යුතු ය. රහතන් වහන්සේය කියනුයේ විදර්ශනාඥානය දියුණු කොට අර්හත්මාර්ගඥානය උපදවා එහි බලයෙන් ආසවයන් සම්පූර්ණයෙන් දුරු කළ පුද්ගලයේ ය. උන්වහන්සේ වර්තමාන ස්කන්ධයන්ගේ නිරෝධයෙන් පසු නැවත අලුත් ස්කන්ධයන් නො ලබති. ඒ රහත්හු ආශ්‍ර‍වයන් නැසූ බැවින් ක්ෂීණාශ්‍ර‍ව නම් වෙති.

සත්ත්වයනට දුකින් මිදීමට ඉඩ නො දෙන ස්කන්ධ පඤ්චකයෙහි බැඳ තබන නිවන් මඟ අවුරන මේ ආසවයන් අන් තැනකින් එන්නවුන් නොව පඤ්චස්කන්ධයෙන් ඇති වන පඤ්චස්කන්ධයෙන් ම ගලා යන ඒවා ය. ලස්සන ගැහැනියක් පිරිමියෙක් හොඳ ගෙයක් වත්තක් කුඹුරක් වාහනයක් ඇඳුමක් පරිභෝග භාණ්ඩයක් ඇසට හමු වූ කල්හි දුටු දෙය බොහොම ලස්සනය බොහොම හොඳය නැවතත් එය බලන්න ඕනෑය, මටත් එවැන්නක් ලබා ගන්න ඕනෑය යනාදීන් ඇසින් කාමාසවය ගලා යයි. යම්කිසි ලෝකයක ඒවා ඕනෑ තරම් ඇත, එහි උපනහොත් ඒවා ලැබිය හැකිය කියා භවය පැතීම් වශයෙන් භවාසවය ඇසින් ගලා යයි. දුටු දෙය ස්ත්‍රියක පුරුෂයෙක කියා හෝ සත්ත්වයකු අයත් දෙයක කියා හෝ ඒවා දෙවියන් මැවූ දෙවියන් දුන් ඒවාය කියා හෝ සැලකීමේ දී දිට්ඨාසවය ගලා යයි. කාමාසවාදීන් ගලා යන කල්හි ඒවා අනුව ඒවා හා බැඳී අවිජ්ජාසවය ද ගලා යයි. කනට හඬ වැදීමෙන් ද, නැහැයට ගන්ධයන් වැදීමෙන් ද, දිවෙහි රස වැදීමෙන් ද, කයෙහි ඒ ඒ දේ ගැටීමෙන් ද, මනසට නොයෙක් දේ අරමුණු වීමෙන් ද ඒ ද්වාරවලින් ආසවයෝ ගලා යෙති. පඤ්චස්කන්ධයක් නැතහොත් ආසව නැති බැවින් පඤ්චස්කන්ධන් ම ආසව ඇතිවීමේ ප්‍ර‍ධාන හේතුව බව සැලකිය යුතු ය.

“පඤ්චක්ඛන්ධෙ සාසවතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අනාසවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.

“පඤ්චස්කන්ධයන් ආසවයන් ඇති කරනුවන් වශයෙන් දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ආසව විරහිත නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.

31. සංඛතා

එක්තිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ ප්‍ර‍ත්‍යයන් එක් වී උපදවන්නෝ ය.

යමක් හටගන්නේ ප්‍ර‍ත්‍යයකින් නම්, ප්‍ර‍ත්‍යය නො මැතිව හටගැනීමේ ශක්තිය යමකට නැතිනම් එය ඉතා දුබල දෙයකි. ඒ දෙයට තමාගේ කැමැත්ත අනුව පවත්නට නුපුළුවන. සකල සංස්කාරයෝ ම ප්‍ර‍ත්‍යයන් ගෙන් හට ගන්නෝ ය. යම් කිසි එක් ප්‍ර‍ත්‍යයකින් ම හටගන්නා සංස්කාරයක් ද නැත. එක් සංස්කාරයක් හටගන්නේ ප්‍ර‍ත්‍යය බොහෝ ගණනකිනි. ඒ සංස්කාරයන් හටගැන්වීමට නිසි ප්‍ර‍ත්‍යයන්ගේ එක් වීමක් නො වුවහොත් ඒ සංස්කාර නො හටගන්නේ ය. ස්කන්ධයන් හෙවත් සංස්කාරයන් ප්‍ර‍ත්‍යයන් විසින් ඇති කරනවාය යන මෙය ගැඹුරු කරුණෙකි. එය තේරුම් ගත හැකි වීමට අභිධර්මය උගෙන තිබීම ප්‍රයෝජන ය. සංස්කාර සියල්ල ම එක් කොට ඒවා ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා බව සිතා ගැනීම අපහසු ය. ස්කන්ධ වශයෙන් හෝ නාමරූප වශයෙන් හෝ සංස්කාර වෙන් කොට ගෙන ඒවා ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා සැටි බැලිය යුතු ය. ප්‍ර‍ත්‍යය බැලීමේ ක්‍ර‍ම කීපයක් විශුද්ද්‍ධිමග්ගයෙහි ඇත්තේ ය. එයින් කිනම් ක්‍ර‍මයකින් හෝ බලා සංස්කාරයන් ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා බව තේරුම් ගැනීම ප්‍ර‍මාණවත් ය. ප්‍ර‍ත්‍යය සොයන්නා විසින් රූපස්කන්ධයෙන් පටන් ගැනීම වඩා හොඳ ය. මවුකුස උපන් සත්ත්වයාගේ රූපස්කන්ධය ඇතිවීමේ හේතු සෙවිය යුතු ය. අවිද්‍යා-තෘෂ්ණා-උපාදාන-කර්ම-ආහාර යන මේ පස එහි හේතු බව තේරුම් ගත හැකි වුවහොත් මැනවි. එය තේරුම් ගැනීමට උත්සාහ කරනු. නාමස්කන්ධයන්ගේ හේතු බැලීම විඥානස්කන්ධයෙන් පටන් ගත්තාම පහසු ය. ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ දෙකින් එකක් හෝ නැතිනම් අන් කිසිම ක්‍ර‍මයකින් චක්ඛුවිඤ්ඤාණය නූපදී. චක්ඛුවිඤ්ඤාණයක් උපන් නිසා ආරම්මණයේ තත්ත්වය අනුව වේදනාවක් උපදී. දුටු දෙය හැඳින ගන්නා සඤ්ඤාවක් උපදී. වේදනා සඤ්ඤා අනුව දුටු දෙයට ඇලුම් කිරීම් ආදි සංස්කාර උපදී. මෙසේ ඒ ඒ ධර්මයන්ගේ හේතු ප්‍ර‍ත්‍යයන් බලා සකල සංස්කාරයන් ම ප්‍ර‍ත්‍යයෙන් හටගන්නවුන් බව තේරුම් ගත යුතු ය. සංස්කාරයන් වෙන වෙන ම සිතා සකල සංස්කාරයන් ම ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා බව තේරුම් ගත් පසු ස්කන්ධ පඤ්චකය ම එකතු කොට සියල්ල සඞ්ඛත බව මෙනෙහි කිරීම සුදුසු ය.

“පඤ්චක්ඛන්ධෙ සංඛතතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අසඞ්ඛතං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් ප්‍ර‍ත්‍යයන් විසින් ඇති කරන ලද්දවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ප්‍ර‍ත්‍යයෙන් නො හටගන්නා නිවන ය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.

32. මාරාමිසා

දෙතිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ මාරයාගේ සපයෝ ය.

ලෝකයෙහි “මරුවා පැමිණියේ ය, මරුවා ගෙන ගියේ ය, මරුවා ප්‍රාණය පැහැර ගත්තේය” යි කථා කරන්නේ මරුවාය කියා මිනී මරන රාස්සයකු වැනි එකකු ඇති නිසා නොව, මරණයට ම මරුවාය යන නම ආරූඪ කිරීමෙනි. සිංහයාගේ ව්‍යාඝ්‍රයාගේ කටට හසු වූ සාවා මරණයෙන් නො මිදෙන්නාක් මෙන්, නයාගේ ගැරඬියාගේ කබරගොයාගේ කටට අසු වූ මැඩියා මරණයෙන් නො මිදෙන්නාක් මෙන්, සත්ත්වයන් මරා කන යකකු රාස්සයකු වැනි මාරයකු ඇති නම් උගේ කටට අසු වූ සත්ත්වයාට ද මරණය නියතය. පඤ්චස්කන්ධයක් ලද හොත් නියත වශයෙන් ම මරණය ඇත්තේ ය. මරණයට හසු නො වන මරුට යටත් නො වන පඤ්චස්කන්ධයක් මේ මිනිස්ලොව තබා දිව්‍යලෝක බ්‍ර‍හ්මලෝකවල ද නැත. නියත මරණය ඇති බැවින් ස්කන්ධයෝ මරහුගේ සපයෝ ය. මරහුගේ කටේ ම පවත්නෝ ය, මරහුගේ ආහාරයෝ ය. සිංහකටේ සිටින සාවාට සමහරවිට ගැලවීමක් ලැබිය හැකි ය. මරුගේ කටේ පවතින පඤ්චස්කන්ධයට මරුගෙන් නො මිදිය හැකි ය.

සත්ත්වයා භවයෙහි නැවත නැවත ඉපදී නැවත නැවත මැරෙන්නේ කෙලෙසුන් නිසා ය. එබැවින් කෙලෙස්හු ද මාරයෝ ය. කෙලෙස් ඇත්තේත් කෙලෙස් නැඟ එන්නේත් පඤ්චස්කන්ධයෙහි ම ය. මමය, මාගේය, මම උසස්ය, මූ පහත් ය, මූට ගසන්න ඕනෑය, මූ මරන්න ඕනෑය, මුගේ දේ ගන්න ඕනෑය, මුගේ දේ නැති කරන්න ඕනෑය, මැය හා එක් ව වාසය කරන්න ඕනෑ ය, මැය වැළඳ ගන්න ඕනෑය යනාදීන් කෙලෙස් ඇති වන්නේ ද පඤ්චස්කන්ධය ආහාර කොට ය. සත්ත්වයා නැවත නැවත මරන කෙලෙස් ඇත්තේත් උපදින්නේත් පඤ්චස්කන්ධයෙහි ම නිසාත්, කෙලෙසුන්ගේ ආහාරය පඤ්චස්කන්ධය ම නිසාත්, කෙලෙස් නමැති මරහුගේ කටේ සිටින්නෝ ය. මරහුගේ සපයෝ ය. මරහුගේ ආහාරයෝ ය. සත්ත්වයන් අනර්ථයෙහි යොදවා ඔවුන් මරණයට පමුණුවන බැවින් ද කෙලෙස්හු මාරයෝ ය.

“පඤ්චක්ඛන්ධෙ මාරාමිසතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ නිරාමිසං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් මරහුගේ සප වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය නිරාමිෂ නිර්වාණ යයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.

33. ජාති ධම්මා

තෙතිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ උපදනා ස්වභාව ඇතියෝ ය.

ස්කන්ධයන් ඇති කල්හි ඒවා කොතෙක් නිරුද්ධ වී ගිය ද පරම්පරාව නො සිඳී නිවනට පැමිණෙන තුරු අලුත් අලුත් ස්කන්ධයෝ උපදිති. එබැවින් ස්කන්ධයෝ උපදනා ස්වභාවය ඇත්තෝ යයි කියනු ලැබෙත්. මේ ඉපදීම ඉමහත් නපුරෙකි. දුකෙකි. එබැවින් දුඃඛසත්‍යදේශනයේ දී තථාගතයන් වහන්සේ “ජාතිපි දුක්ඛා” යනුවෙන් ජාතිදුඃඛය ඉපදීම් දුක පළමුවෙන් ම වදාළහ.

බාලපණ්ඩිත සූත්‍රාදියෙහි තථාගතයන් වහන්සේ විසින් නොයෙක් උපමාවලින් දේශනය කර ඇති යපොළොවෙහි තබා හුල් ගැසීම, හරස් කියතින් කැපීම, ලොහොදිය පෙවීම, ලොහොගුළි ගිල්වීම ආදි භයානක නිරය දුක ද, කසයෙන් කෝටුවලින් පොලුවලින් තැළීම, හුලින් ඇනීම, බර ඇද්දවීම, හණගැසීම, කප්පාදුකිරීම, අනේකාකාරයෙන් මැරීම යන මේවායින් වන තිරිසන් දුක ද, බත් පැන් නො ලැබීම් ආදියෙන් වන ප්‍රේත දුඃඛය ද යන මේ සියල්ල ඇත්තේ ජාතිය නිසා ය. ඉපදීමක් නැති නම් ඒ දුක් නැත. අපායෙහි ඉපදීම් පමණක් නො ව, සුගතියක් ලෙස උතුම් භවයක් ලෙස සලකන මේ මිනිස්ලොව ඉපදීම් වුව ද ඉමහත් දුකෙකි. මිනිසකු වශයෙන් උපදනා සත්ත්වයා උපදිනුයේ මවගේ ආමාශ-පක්වාශ දෙකට හා පිටි කටුවලට හා උදර පටලයටත් අතර ඇති ලෝකාන්තරික නරකය සෙයින් ඉතා අඳුරු වූ ද වැසිකිළි වළක් සෙයින් දුඟද වූ ද ස්ථානයක මව්පිය දෙදෙනාගේ ශ්‍රෝණිත ශුක්‍ර‍ධාතු නමැති අශුචියෙහි ය. එහි උපන් සත්ත්වයා නවමසක් හෝ දසමසක් හෝ සෙලවීමක් පෙරලීමක් නැති ව, අත්පා දිග හැරීමක් හැකිළවීමක් නැති ව මවගේ උණුසුමෙන් පැසේ. මේ මවුකුස විසීමේ දුකය. මවු කුස වෙසෙන මොළකැටි සිරුර ඇති දරුවාට මව වාඩි වන නැගිටින ගමන් කරන සැපෙන වැඩ කරන අවස්ථාවන්හි නපුරු ළමයකු අතට හසු වූ බලුපැටවකුට බළල්පැටවකුට මෙන් ද, වෙරිකාරයකුට හසු වූ සාවකුට එළුවකුට මෙන් ද ඒ මේ අතට ඇදීමෙන් පොඩිවීමෙන් මහත් දුකක් වේ. මව සිසිල් දිය පානය කළ කල්හි ශීතනරකයෙහි උපන් එකකුට මෙන් ද, මව උණුදිය උණු ආහාර ගත් කල්හි අඟුරුවළකට වැටුණු එකකුට මෙන් ද, මව ලුණු ඇඹුල් මිරිස් ආදි කටුක දෑ ගත් කල තුවාලයකට ලුණුදිය වත්කළ විටෙක මෙන් ද බොහෝ දුක් ඇතිවේ. මේ ගැබ පරිහරණය කිරීමෙන් වන දුක ය. ගැබ මේරූ කල්හි කර්මජ වාතයෙන් තල්ලුකර ඉතා අවහිර යෝනිමුඛයෙන් ළදරු සිරුර බැහැර කරන කල්හි ළදරුවාට වන්නේ ද ඉමහත් දුකෙකි. නියමිත පරිදි ප්‍ර‍සූතිය සිදු නො වී වෛද්‍යයන් විසින් අඬු දමා පිටතට අදිනු ලබන කල්හි දරුවාට වන්නේ ද ඉතා දරුණු දුකෙකි. මවුකුසින් බිහි වූ දරුවාගේ මොළකැටි සිරුර නහවා පවිත්‍ර‍ කරන කල්හි දරුවාට ඇතිවන්නේ වණයක බුරුසුවක් අතුල්ලන විටෙක ඇති වන වේදනාව බඳු ඉවසිය නො හෙන දුකෙකි. මෙසේ දුකින් උපන් දරුවාට කලක් ගත වන තුරු සියල්ලට ම අනුන්ගේ පිහිට බලාපොරොත්තු වෙමින් උන් තැන ම මලමුත්‍ර‍ පහකරගනිමින් උඩුකුරුව නිදන්නට සිදුවීම ද ඉමහත් දුකෙකි. නැගිට යා හැකි වූ කාලයේ පටන් මරණය තෙක් ශරීරය පෝෂණය කරන්න වෙහෙසෙන්නට වීමත් මහත් දුකෙකි. ඒ අතර අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝගාදි තවත් බොහෝ දුක් ද වන්නේ ය. ස්කන්ධයන්ගේ නැවත නැවත උපදනා ස්වභාවය ඉමහත් දුකක් බව තේරුම්ගත් නුවණැත්තෝ විදසුන් වඩා ස්කන්ධ පඤ්චකය බැහැර කොට නිවනට පිවිසෙති.

“පඤ්චක්ඛන්ධෙ ජාතිධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අජාතං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් උපදනා ස්වභාව ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ඉපදීම්ක නැති බව යයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

34. ජරා ධම්මා

සූතිස්වන භාවනා පදය.

ස්කන්ධයන් දිරන ස්වභාව ඇතියෝ ය.

සන්තතිඝනය බිඳ සංස්කාරයන් දැකීමට නො සමත් ජනයාට උත්පත්තියේ පටන් මරණය තෙක් මේ සිරුර එක් දෙයක් වශයෙන් පෙනෙතෙත් එය එක් දෙයක් නොව රූප පරම්පරාවෙකි. ඒ රූප පරම්පරාවෝ සැම කල්හි ඒකාන්තයෙන් පවත්නාහු නො වෙති. පරණ වීමෙන් රූප පරම්පරාව දුබල වේ. නරක් වේ. එයට ජරාව ය යි ද, දිරීම ය යි ද කියනු ලැබේ. ස්කන්ධයෝ දිරන ස්වභාව ඇතියෝ ය. ඒ දිරීම අනේක කායික, මානසික දුඃඛයන්ට හේතුවක් වන බැවින් දුකකැ යි කියනු ලැබේ. ස්කන්ධ පරම්පරාව වූ ශරීරය පරණ වූ කල්හි එහි ලේ මස් හීන වෙයි, ඇට-නහර ඉල්පෙයි, සම රැළි වැටෙයි, එහි සුදු-කළු ලප ඇති වෙයි, හිසකේ-රැවුල් සුදු වෙයි. දත් ගැල වෙයි, කන් ඇසීම-ඇස් පෙනීම අඩු වෙයි. ඇස්වලින් කබ ගලන්නට වෙයි, දිරාගිය ශරීර ඇත්තේ අශෝභන බැවින් දුගඳ ඇති බැවින් සෙස්සන්ට තබා දූදරුවන්ට ද අප්‍රිය වේ. දිරා දුබල වූ පුද්ගලයා ජීවන වියදම සපයා ගැනීමට, රැකියාවක් කිරීමට අසමත් වෙයි. ඔහුට ආහාරපානාදිය, දූ දරු ආදීන්ගෙන් නො ලැබුණ හොත් තැන තැන ඇවිද අනුන්ගෙන් ඉල්ලා ජීවත් වන්නට සිදු වෙයි. යාමට ද පණක් නැති ඔහුට දණ්ඩක පිහිටෙන් එහා මෙහා යන්නට සිදු වේ. දණ්ඩක පිහිටෙන් වෙවුලමින් අමාරුවෙන් එහා මෙහා යන විරූප වූ මහල්ලා කොල්ලන්ට විකාරයක් වෙයි. ඔහු දුටු විට කොල්ලෝ ගල් මුල් ගසති, පෙනීමේ අඩුකම නිසා ද, පා වළංගු නැති නිසා ද, මහල්ලා නොයෙක් විට ගල්, මුල්වල සැපෙයි. කාණුවලට වළවලට වැටෙයි. ඔහුට තමාගේ ශරීරය හා ඇඳුම් පවිත්‍ර‍ කරගත නො හීමෙන් අපවිත්‍ර‍ව වෙසෙන්නට සිදු වෙයි. ලද ආහාරය වුව ද අනුභව කිරීම අපහසු වෙයි. ඔහුට ශරීරයේ අත් පාවල හා තුනටියෙහි නිතර වේදනා ඇති වෙයි. අර්ශස් ආදී රෝග උත්සන්න වීමෙන් බොහෝ දුක් ඇති වෙයි. ඔහුට කලින් දැන සිටි කරුණ සිහි නො කළ හැකි වෙයි. කලින් අඳුනන අය හඳුනා ගැනීම අපහසු වෙයි. සිරුර වඩාත් දිරා ගිය කල්හි අනුන් ගේ උපකාරයෙන් තොරව නැගිටීම ද නො කළ හැකි වෙයි. ඔහුට එක් තැනක වැතිර ශාරීරික දුඃඛවේදනා විඳිමින් කල් යවන්නට සිදු වේ. මේ ජරාවේ නපුර ය. මෙබඳු තත්ත්වයක් ඇති පඤ්චස්කන්ධයක් ලැබීම යහපතක් නොව නපුරෙකි. එබැවින් නුවණැත්තෝ ජරා පත්වන පඤ්චස්කන්ධය හැර ජරාවෙන් තොර නිවනට පිවිසෙති.

“පඤ්චක්ඛන්ධෙ ජරාධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අජරං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් දිරන ස්වභාව ඇතියන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ජරාවක් නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.

35. ව්‍යාධි ධම්මා

පන්තිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ ව්‍යාධීන් හටගන්නා ස්වභාව ඇත්තෝ ය.

ව්‍යාධීහු නම් රෝග හා ආබාධයෝ ය. රූපස්කන්ධ සඞ්ඛ්‍යාත මේ ශරීරයෙහි දෙපතුල පටන් හිස මුදුන දක්වා ඇතුළ පිට දෙක්හි ම හටගන්නා බොහෝ රෝගාබාධ ඇත්තේ ය. වාතය-සෙම හිසට ගැසීමෙන් හා තැළීම්වලින් හටගන්නා හිසරදය නමැති ආබාධයක් ඇත්තේ ය. නාසය මොළය කුණු කරන නිතර සොටු ගලන පීනස නමැති රෝගයක් ඇත්තේ ය. දැවිල්ල, කබ ගැලීම, කඳුළු ගැලීම, දෘෂ්ටිමණ්ඩලය වසා පටල හට ගැනීම, පිළිකා හට ගැනීම, ඉදිමීම, පැසවීම යන ඇසෙහි හටගන්නා බොහෝ රෝගාබාධ ඇත්තේ ය. පැසවීම, පොළ හටගැනීම, කැසීම යන කනෙහි හට ගන්නා රෝගයෝ ඇතහ. සෙම හිරවීම, මස්දලු නැඟීම, ඉදිමීම, පැසවීම, වණ වීම යන නාසයේ හටගන්නා රෝග ඇත්තේ ය. දිරීම, කැක්කුම, හිරිය, දත්මුල් පැසවීම, දත්මුල්වලින් ගෙඩි හට ගැනීම, පිළිකා හට ගැනීම, දිව වණවීම, තොල් වණවීම, තොල් පැළීම යන මුඛ රෝග ඇත්තේ ය. මුහුණේ හටගන්නා කුරුලෑ නමැති ගෙඩි වර්ගයක් හා පැසී දියර ගලන බිබිලි වර්ගයක් ද ඇත්තේ ය. කැස්ස, සෙම හිරවීම, ආශ්වාස ප්‍ර‍ශ්වාස දුෂ්කර වීම, පෙණහලුවල වතුර පිරීම, ඒවා ඉදිමී ඒවායේ තුවාල හට ගැනීම යනාදී පපුවේ හටගන්නා රෝගාබාධයෝ ඇත්තාහ. සෙම් ගෙඩි, පිළිකා, කණ්ඨමාල ආදි බෙල්ලේ හට ගන්නා රෝග ඇත්තේ ය. වමනය, ඔක්කාරය, කැක්කුම, ආහාර නො දිරවීම, ආහාර අප්‍රිය වීම, කෑ සැටියේ බඩයාම ආදි උදරයේ හටගන්නා බොහෝ රෝගාබාධ ඇත්තේ ය. මලමුත්‍ර‍මාර්ග අවුරා බොහෝ වේදනා ඇති කරන රෝග ද ඇත්තේ ය. ඉවසිය නො හෙන කැසිල්ල හා දැවිල්ල ඇති කරන අනේකාකාර කුෂ්ඨරෝග සමෙහි ඇති වේ. සමෙහි තැන තැන සුදු වී යන කබර නමැති රෝගයක් ඇත්තේ ය. කන්පෙති කුණු වී වැටෙන, නාසය කුණු වී වැටෙන, ඇඟිලි පුරුක් ගැලවී වැටෙන, තැනින් තැන වණ හටගන්නා ලාදුරු නමැති භයානක රෝගයක් ඇත්තේ ය. ශරීරයෙන් භාගයක පණ නැති වන පක්ෂාඝාත නමැති රෝගයක් ඇත්තේ ය. උණ ගැනී ඇඟ සැම තැනම බිබිලි හටගන්නා රෝග හා කම්මුල් ඉදිමෙන රෝග ඇත්තේ ය. තුනටියෙහි හා සන්ධිස්ථානවල හටගන්නා වේදනා ඇත්තේ ය. මෙතෙකින් කියන ලද්දේ රූපකයෙහි හටගන්නා රෝගාබාධවලින් සමහරකි. මෙහි නො කියවුණු බොහෝ රෝගාබාධ ඇත්තේ ය. මේ රෝග සියල්ල එක ශරීරයක එකවර ම හටගන්නේ නො වේ. එහෙත් කිනම් ශරීරයක වුවද මේ රෝගාබාධ හට ගැනීමට ඉඩ ඇත්තේ ය. එබැවින් මේ රෝග අන්‍යයන්ගේ ශරීරවල හට ගත්තාට මාගේ ශරීරය නිරෝගී ය, මාගේ ශරීරයේ රෝග නො හටගන්නේය යි සිතතොත් එය මුළාවෙකි. නකුලපිතෘ නමැති ගෘහපතියාට තථාගතයන් වහන්සේ විසින් කරන ලද අනුශාසනයක් මෙසේ ය.

“ආතුරෝහායං ගහපති කායෝ අණ්ඩභූතෝ පරියෝනද්ධෝ යෝ හි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය කිමඤ්ඤත්‍ර‍ බාල්‍යා? තස්මාතිහ ගහපති ඒවං සික්ඛිතබ්බං ආතුරකායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සතීති”.

එහි තේරුම මෙසේ ය. “ගෘහපතිය, කෙළ සෙම් සොටු ආදිය නිතර වැගිරෙන මේ කය ආතුරය, දුබල බැවින් සැපුණ හොත් වැටුණ හොත් බිඳී යන බිත්තරයක් වැනි ය. සියුම් සමකින් වැසී ඇති එකෙක. ගෘහපතිය, යමෙක් මේ දුබල කය පරිහරණය කරමින් මොහොතකුදු තමා නිරෝගීය යි ප්‍ර‍තිඥා කෙරේ නම් එය අනුවණකම හැර කුමක්ද? ගෘහපතිය, ආතුර කයක් ඇති ඔබ අනාතුර සිතක් ඇතියකු වන පරිදි පිළිපැදිය යුතු ය.”

පඤ්චස්කන්ධය අනේක ව්‍යාධීන් හටගන්නා ස්වභාවය ඇතියක් බව තේරුම් ගත් නුවණැතියෝ එහි ඇලී නොසිට ආතුර වූ පඤ්චස්කන්ධය හැර අනාතුර වූ නිවනට පිවිසෙන්නාහ.

“පඤ්චක්ඛන්ධෙ ව්‍යාධිධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අව්‍යාධිං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් ව්‍යාධීන් හට ගන්නා ස්වභාවය ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්‍ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ව්‍යාධි විරහිත නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

36. මරණ ධම්මා

සතිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ මැරෙන ස්වභාවය ඇත්තෝ ය.

උපන් සංස්කාරයන්ගේ එකෙණෙහි ම සිදුවන බිඳීමත් මරණයෙකි. එයට ක්‍ෂණික මරණය යි කියනු ලැබේ. මෙහි මරණය යි කියනුයේ එක් එක් භවයකට අයත් ජීවිතය කෙළවර වීමය. එය සම්මුති මරණ නම් වේ. ස්කන්ධයෝ සම්මුති මරණයෙන් ද මැරෙන ස්වභාවය ඇතියෝ ය. මනුෂ්‍ය ලෝකයේ ස්කන්ධයන් තබා ඉතා ප්‍ර‍ණීත ඉතා උසස් ස්කන්ධයන් ලෙස සලකනන දිව්‍යබ්‍ර‍හම ලෝකවල ස්කන්ධයෝ ද මැරෙන ස්වභාවය ඉක්මවා සිටින්නාහු නො වෙති. ස්කන්ධයන් නො මැරෙන ස්වභාවයට පැමිණිය හැකි බලයක් හෝ නො නැසෙන ස්කන්ධයන් ඇති කළ හැකි බලයක් හෝ මිනිසුන්ට තබා දිව්‍ය බ්‍ර‍හ්මයන්ට ද නැත. ඒ ඒ භව වලට අයිති ස්කන්ධයෝ කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගේ බලයෙන් ම පහළ වන්නවුන් මිස පුද්ගලයන් විසින් නිපදවනු ලබන්නෝ නො වෙති. ස්කන්ධයන් නිපදවිය හැකි බලය ප්‍ර‍ත්‍යයන්ට මිස පුද්ගලයන්ට නැත්තේ ය. කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගේ බලයෙන් ඒ ඒ භව වල ස්කන්ධ පහළ වූ කල්හි මේ මමය මේ මාගේ ආත්මයය මාගේ කයය මාගේ ඇසය කනය අතය පයය යනාදි සංඥාවෝ ඒ ස්කන්ධයන් අතරින් ම පහළ වෙති. එහෙත් ඒ ස්කන්ධයන් ඇති කළ කෙනෙක් නැත. මමය කියා සිතුණාට ඒ ස්කන්ධ මම නොවේ. මාගේය කියා සිතුණාට ඒ ස්කන්ධ මාගේ නොවේ. ඒවායේ අයිතිකාරයෙක් නැත. එබැවින් හේතු ප්‍ර‍ත්‍යයෙන් හට ගෙන දිරා යන බිඳී යන මැරී යන ස්කන්ධයන් කාහටවත් නො දිරන නො බිඳෙන නො මැරෙන ලෙස ශක්තිමත් නො කළ හැකි ය. එබැවින් ස්කන්ධයෝ මැරෙන ස්වභාවය ඇතියෝ ය. කර්මාදි හේතූන්ගෙන් ඇති වූ ස්කන්ධයෝ ඉතා දුබලයෝ ය. ඒවාට අනිකක උපකාරයක් නො මැතිව පරම්පරා වශයෙන් පැවතිය හැකි ශක්තියක් නැත.

ආයුනාමේතං අබලං දුබ්බලං, තථාහි සත්තානං ජීවිතං අස්සාසපස්සාසූපනිබද්ධඤ්චේව ඉරියාපථූපනිබද්ධඤ්ච සීතුණ්හූප-නිබද්ධඤ්ච මහාභූතුපනිබද්ධඤ්ච ආහාරූපනිබද්ධඤ්ච”

(විසුද්ධි මග්ග)

යනුවෙන් “ජීවිතය යන මෙය අබලය. දුබලය. සත්ත්වයන්ගේ ජීවිතය ආශ්වාස ප්‍ර‍ශ්වාසයන් පිළිබඳ වූයේ ද සතර ඉරියව් පිළිබඳ වූයේද ශීතෝෂ්ණයන් පිළිබඳ වූයේ ද මහා භූතයන් පිළිබඳ වූයේ ද ආහාරය පිළිබඳ වූයේ ද වේ ය”යි දක්වන ලදී.

සත්ත්වයන්ගේ ජීවිතය ආශ්වාස ප්‍ර‍ශ්වාසයන් සමව පැවැත්මෙන් ම පවත්නේ ය. නො එසේ නම් සිඳෙන්නේ ය. ඉරියව් සතර සමසේ පැවැත්වීමෙන් ම පවත්නේ ය. එසේ නො වුවහොත් ජීවිතය නැසෙන්නේ ය. ශීතෝෂ්ණ දෙක සුදුසු ප්‍ර‍මාණයෙන් පවතිත හොත් ජීවිතය පවතී. ඉන් එකක් අධික වී අනික නැති වී ගියහොත් ජීවිතය නො පැවතිය හැකි වෙයි. මහා භූත ධාතූන් සුදුසු පරිදි පවතිත හොත් ජීවිතයට පැවතිය හැකි වේ. ඒවා නො සම වී ගියහොත් යම් ධාතුවක් උත්සන්න වී ඉතිරි ධාතූන් හීන වී ගියහොත් ජීවිතය නැසේ. ආහාර ලැබෙත හොත් ජීවිතය පවතී. ආහාර නො ලැබී ගිය හොත් ජීවිතය සිඳෙන්නේ ය. ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි කරුණු බොහෝ ගණනක් නිසා පවත්නා ජීවිතය ඒ එකකවත් ආධාරය නැති වී ගිය හොත් නැසෙන්නේ ය. ජීවිතය නැසිය හැකි හේතු සත්ත්වයා අවටත් දහස් ගණනින් ඇත්තේ ය. ශරීරය ඇතුළේ ද ඇත්තේ ය. තමා සමඟ වාසය කරන්නවුන් අතරින් එකකු කිපී පහර දුනහොත් එයින් ද මැරේ. සොරකු සතුරකු පහර දුන ද මරණය වේ. සර්පයකු දෂ්ට කළ ද, නපුරු සතකු පහර දුන ද, වාහනයකට යට වුව ද, ගසකින් ගෙඩියක් ශරීරයට වැටුණ ද, ගසක් අත්තක් ඇඟට කඩා වැටුණ ද, ගෙයක් කඩා වැටුණ ද, අකුණක් වැදුණ ද මරණය සිදුවිය හැකි ය. ජීවත් වීමට ඉතාම උපකාර දෙය වන ආහාරය වුවද අපථ්‍ය වුවහොත් මරණය සිදු විය හැකි ය. ශරීරය තුළ ම පවත්නා වාතය කිපීමෙන් ද, සෙම කිපීමෙන් ද, පිත කිපීමෙන් ද, ලේ කිපීමෙන් ද, මලමුත්‍ර‍ බැහැර කළ නො හීමෙන් ද, නොයෙක් නපුරු රෝග හට ගැනීමෙන් ද, මරණය විය හැකි ය. නාශක හේතූන් මධ්‍යයේ පවත්නා මේ දුබල ජීවිතය පිට්ටනියක් මැද දල්වන ලද පොල් තෙල් පහනක් බඳු ය. ආවරණයක් නැතිව පිට්ටනියක දැල්වෙන පහන නැගෙනහිරින් සුළඟක් හැමුව ද, දකුණෙන් බස්නාහිරින් සුළඟක් හැමුව ද, වැස්සක් ඇති වුව ද කුරුමිණියකු පළඟැටියකු ඇවිත් සැපුණ ද නිවී යන්නේ ය. එය කොයි කොයි වෙලාවේත් නිවී යා හැකි ය. එමෙන් බොහෝ නාශක හේතූන් අතර පවත්නා ජීවිතය ඉතා ම අවදානම් ය. අලුත් භවයකට පැමිණෙන සත්ත්වයා හට ප්‍ර‍ථමයෙන් ඒ භවයෙහි ප්‍ර‍තිසන්ධි චිත්තය ඇති වේ. අනතුරුව පසළොසක් හෝ සොළසක් භවාඞ්ග සිත් ඇති වේ. අනතුරුව මනෝද්වාරාවජ්ජන චිත්තය ඇති වේ. ඊට අනතුරුව අලුත් පඤ්චස්කන්ධය අරමුණු කොට ලෝභ සහගත ජවන චිත්තයක් සත්වරක් ඇති වීමෙන් පසු නැවත ද භවාඞ්ග චිත්තය ඇති වේ. සත්ත්වයකු භවයක පිළිසිඳ ගත හොත් කියන ලද සිත් ටික ඇති නොවී ඔහු නො මැරේ. චිත්තක්ෂණ විසිපහක් තිහක් වන මේ කෙටි කාලය නො මැරෙන කාලය ලෙස කියා තිබේ. ඒ කාලය හැර සත්ත්වයකුට නො මැරිය හැකි කාලයක් නැත. එබැවින් මේ ජීවිතය ගසක එල්ලෙන ඉදුණු කොළයක් බඳු ය. ඉදුණු ගෙඩියක් බඳු ය. තණ අග එල්ලෙන පිනි බිඳක් වැනි ය. දියෙහි ඇඳි ඉරක් බඳු ය. දිය බුබුලක් බඳු ය.

මෙසේ ජීවිතය දුබල බැවින් මේ අනවරාග්‍ර‍ සංසාරයෙහි සැරිසරන සත්ත්වයකුට පැමිණිය හැකි මරණවල ප්‍ර‍මාණයක් නැත. අතීත සංසාරයේ පැමිණි මරණවල ද ප්‍ර‍මාණයක් නැත.

“ඒක පුග්ගලස්ස භික්ඛවේ, කප්පං සන්ධාවතෝ සංසරතෝ සියා ඒවං මහා අට්ඨිකඞ්කලෝ අට්ඨිපුඤ්ජෝ අට්ඨිරාසි යථායං වේපුල්ලෝ පබ්බතෝ.”

(සංයුත්ත නිකාය.)

යනුවෙන් “මහණෙනි, මේ සංසාරයෙහි කල්පයක් ඉපදෙමින් මැරෙමින් භවයෙන් භවයට යන එක් පුද්ගලයකු ගේ ඇට එකතු කළහොත් වෛපුල්‍ය පර්වතය පමණ ඇට ගොඩක් වන්නේය” යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය.

අනවරාග්‍ර‍ සංසාරයෙහි එක් පුද්ගලයකු ගව ව උපන් අවස්ථාවලදී ගෙල සිඳිනු ලැබීමෙන් ගැලූ ලෙය එකතු කළ හොත් සාගර ජලයට අධික වන බව ද, මහීෂව එළුව කුකුළුව මුවව උපන් අවස්ථාවලදී ගෙල සිඳීමෙන් වගුළ ලෙය එකතු කළ හොත් සාගර ජලයට අධික වන බව අනමතග්ග සංයුත්තයේ වදාරා ඇත්තේ ය.

සැම දුකකට වඩා නපුරු දුක මරණ දුකය. එබැවින් අන් සැම නපුරකට ම වඩා සත්ත්වයෝ මරණයට බිය වෙති. මරන්නට එනු දුටහොත් බියෙන් වෙව්ලන්නට වෙයි. උගුර කට වියළෙයි. සමහර විට මලමුත්‍ර‍ පහවෙයි. වැඩි අපහසුවක් නැතිව මරණය වන්නේ ටික දෙනකුට පමණෙකි. මරණය ළං වූ කල්හි බොහෝ දෙනකුන්ට ඝන සෙමක් නැඟී අවුත් ආශ්වාස ප්‍ර‍ශ්වාස මාර්ග අවහිර කරයි. රෝගියාට ඒ අවස්ථාවෙහි ඉතා අමාරුවෙන්න ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන්නට සිදු වේ. ආශ්වාස ප්‍ර‍ශ්වාස සම ව පැවැත්විය නො හෙන විට පපුවට ඇති වන්නේ බලවත් වේදනාවෙකි. රෝගියා බලවත් වේදනාවෙන් හඬ නංවමින් ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන කල්හි මිනිස්සු පණ අදිනවාය යි කියති. අමාරුවෙන් හුස්ම ගැනීම පිට කිරීම කරන අවස්ථාවේ දී සමහර විට රෝගියාගේ හිසෙහි මිටියකින් ගසන කලෙක ඇතිවන වේදනා වැනි බලවත් වේදනා ඇති වේ. පොඩි කිරීමේ දී ඇතිවන වේදනා බඳු බලවත් වේදනා පපුවෙහි ඇති වේ. හුල් වලින් අණින කලෙක, පිහියකින් කපන කලෙක ඇති වන වේදනා බඳු දරුණු වේදනා කුසයෙහි ඇති වේ. හුලින් අණින කලෙක කඩන කලෙක ඇති වන වේදනා බඳු දරුණු වේදනා සන්ධිස්ථානවල ඇති වේ. ජීවිතය කෙළවර වන්නේ ඒ වේදනා පැය ගණනක් විඳීමෙන් පසුව ය. මරණ වේදනා වඩා ඇති වන්නේ පව් කරන අයටය යි ඇතැමුන් සිතතත් එය එසේ නො වේ. පඤ්චස්කන්ධයේ දුබල බව නිසා ඇති වන දුක් වේදනා, පව් ඇති නැති කාටත් සාධාරණය. අනේපිඬු මහසිටුතුමා තරම් පින් කර ඇත්තේ අන් කවරෙක් ද? අනේපිඬු සිටුතුමාට ද බලවත් මරණ වේදනා ඇති වූ බව අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයෙහි දක්වා ඇත්තේ ය.

අනේපිඬු සිටාණන් මරණාසන්නව සිටි කාලයේ සැරියුත් මහ තෙරුන් වහන්සේ එතුමා දක්නට වැඩම කළහ. උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාළ කල්හි සිටුතුමා තමාට ඇති අපහසුකම් මෙසේ ප්‍ර‍කාශ කෙළේ ය. “ස්වාමීනි, මාගේ අපහසුකම්වල වැඩීමක් මිස අඩුවක් පෙනෙන්නේ නැත. බලවත් පුරුෂයකු තියුණු යකඩ කටුවකින් හිස විදින්නාක් මෙන් බලවත් වාතයෝ මාගේ හිසට අණින්නාහ. බලවත් පුරුෂයකු විසින් වරපටක් හිසෙහි තදින් වෙළන කලෙක මෙන් බලවත් වාතයෝ මාගේ හිසට පහර දෙන්නාහ. දක්ෂ වූ ගෝඝාතකයකු මස් කපන පිහියකින් කුසය කපන්නාක් මෙන් බලවත් වාතයෝ මාගේ කුස කපත් ය. බලවත් පුරුෂයන් දෙදෙනකු විසින් දුබල පුරුෂයකු දෙ අතින් අල්ලා අඟුරු වළකට ළංකර සිරුර ගින්නෙන් දවන කලෙක මෙන් මාගේ ශරීරයෙහි බලවත් දාහයක් ඇත්තේ ය. අනේපිඬු සිටාණන්ටත් පඤ්චස්කන්ධයේ කරදර මෙසේ වී නම් සෙස්සන් ගැන කියනු කිම?

කිසි පිනක් නො කරමින් සුරාපානාදි පව්කම්වල ම ඇලී වාසය කරන අඥයන්ට මරණාසන්නයේ දී පව්කම් නිසා ඇතිවන දුකක් ද ඇත. එනම්:- මරණාසන්නයේ දී ඔවුන්ට තමන් විසින් කළ පව්කම් සිහියට නැඟෙන්නට වන්නේ ය. ඒ වෙලාවේදී ම කරන්නාක් මෙන් පෙනෙන්නට ද වන්නේ ය. ඔවුනට ඒවා අමතක නො කළ හැකි වන්නේ ය. සමහර විට පව්කම් කළවුන් යන ස්ථාන වූ අපාය නිමිති ඔවුන්ට පෙනෙන්නට වන්නේ ය. ඒ අවස්ථාවේ දී පව් කළවුන් මරණින් මතු යන අපායට මා හට දැන් යන්නට වෙනු ඇතය කියා ඔවුනට මහත් බියක් ඇති වන්නේ ය. ඔවුහු බියෙන් වෙවුලමින් කලුරිය කොට නරකයෙහි ඉපදෙති.

ඇලුම් කරගෙන සිටින යම් කිසි එක් දෙයක් වුව ද නැති වී යාම මිනිසාගේ සිතට බලවත් අමාරුවෙකි. මරණයෙන් ඒ සත්ත්වයා අන් සැමට ම වඩා ඇලුම් කරගෙන සිටින ශරීරය ය, ප්‍රාණය මෙන් ආදරයෙන් ආරක්ෂා කරගෙන සිටින අඹුදරුවෝ ය, රැස් කරගෙන ඇති සියලු ධනය ය යන සියල්ල එකවර ම නැති වන්නාහ. මැරෙන තැනැත්තාට ඒ සියල්ල ම මරණින් අහිමි වන්නේ ය. මැරෙන සත්ත්වයාට ඒ බව වැටහුණු කල්හි ඇති වන්නේ ඉමහත් ශෝකාග්නියෙකි. එද මරණය නිසා පින් කළවුන්ට ද වන ඉමහත් දුකෙකි. පඤ්චස්කන්ධයෙන් නො මිදුණහොත් මේ දරුණු මරණය නැවත නැවත ඇති වන බව දත් නුවණැත්තෝ මැරෙන ස්වභාවය ඇති පඤ්චස්කන්ධයෙන් මිදී අජරාමර නිවනට පිවිසෙන්නාහ.

“පඤ්චක්ඛන්ධෙ මරණධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අමතං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයෙන් මැරෙන ස්වභාවය ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය මරණයක් නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

37. සෝක ධම්මා

සත් තිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ ශෝක කරවන ස්වභාවය ඇතියෝ ය.

ස්කන්ධයන් ඇති කල්හි ඥාතිව්‍යසන-භෝගව්‍යසනාදී විපත් නිසා ද, වුවමනා දෑ නො ලැබීම් බලාපොරොත්තු කඩවීම් ආදියෙන් ද නොයෙක් විට ශෝකය ඇති වේ. එබැවින් ස්කන්ධයෝ ශෝක ඇති කරන ධර්මයෝ ය. ශෝකය ගුණධර්මයක් ලෙස ඇතැමුන් සලකතත් එය ගුණ ධර්මයක් නො වේ. ශෝකය ඇති වන්නේ තණ්හාව නිසා ය.

“තණ්හාය ජායතී සෝකෝ - තණ්හාය ජායතී භයං

තණ්හාය විප්පමුත්තස්ස - නත්ථි සෝකෝ කුතෝ භයං.”

යනුවෙන් ඒ බව වදාරා ඇත්තේ ය. තෘෂ්ණාව අකුශල මූලයකි. තෘෂ්ණාව නිසා ශෝකය ඇති වන්නේ අකුශල මූලයක් වන ද්වේෂයෙන් යුක්ත සිතෙහි ය. එබැවින් එය අකුශල කර්මපථයක් නුවූව ද අකුශල කොට්ඨාසයට අයත් ධර්මයෙකි. කුශල සිතක කිසි කලෙක ශෝකය ඇති නොවේ.

බලවත් ශෝකය නපුරු දුකෙකි. එය හෘදය තුළ ඇවිළෙන ගින්නක් බඳු ය. හෘදයට ප්‍රවේශ වී ඇති හුලක් බඳු ය. මේ ශෝකය දුප්පත් පොහොසත් කාහටත් වෙනසක් නැතිව ඇතිවන දුකෙකි. වඩා ඇලුම් කරන වඩා වටිනා දේවල් ඇත්තේ පොහොසතුන්ට නිසා ඔවුනට වඩා දරුණු ශෝක ඇති විය හැකි ය. ධර්මය නො දන්නා වූ ධර්මයෙන් ඈත්ව වෙසෙන අයට ශෝකය අධික ය. ධර්මය සේවනය කරන අයට මහත් විපතේ දී වුවද ඇති වන්නේ මඳ ශෝකයකි. කෑම නො ගිලෙන තරමේ, උමතු වන තරමේ, ලේ අතීසාරාදි රෝග වැලඳෙන තරමේ, වියළී මිය යන තරමේ බලවත් ශෝක ධර්මය සේවනය කරන්නවුන්ට ඇති නොවේ. විශේෂයෙන් ම විදර්ශනා භාවනාව ශෝක අඩු කරන්නකි. විදර්ශනා භාවනාවෙන් සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව, නිත්‍ය දෙයක් නැති බව, සියල්ල තාවකාලික බව තේරුම් ගෙන සිටින අයට මහත් ව්‍යසනයේ දී වුව ද මඳ ශෝකයක් මිස තද ශෝකයක් ඇති නොවේ. සමහර විට මඳ ශෝකයකුදු ඔවුන්ට ඇති නොවේ. ධර්මය නො දන්නා බැවින් ලෝක තත්ත්වය සලකාගත නො හෙන තෘෂ්ණාව අධික පුද්ගලයන්ට උමතු වන තරමේ, අතීසාරාදි රෝග සෑදෙන තරමේ, මැරෙන තරමේ බලවත් ශෝක ඇති වේ.

බලවත් ශෝකය නිසා රෝගාතුර වූවන් පිළිබඳ බොහෝ කතා පුවත් බණපොත්වල දක්නා ලැබේ. පෙර දඹදිව බරණැස් නුවර රජ කළ මද්දව නම් රජුට සිය දේවිය අනිකකු හා පළායාමෙන් හටගත් බලවත් ශෝකය නිසා පපුව උණු වී බඩින් කටින් ලේ යන්නට වූ බවත්, රාජවෛද්‍යයන් දන්නා තරම් ප්‍ර‍තිකාර කළ නුමුත් ඒ රෝගය බෙහෙතින් සුව නො කළ හැකි වූ බවත්, බෝසතාණන් වහන්සේ විසින් උපායකින් රජුගේ ශෝකය දුරු කොට ඔහුගේ ජීවිතය රැක දුන් බවත් දසණ්ණක ජාතකයෙහි සඳහන් වේ. මහාප්‍ර‍තාප රජුගේ දේවිය පුත්‍රශෝකයෙන් ළය පැලී මළ බව චූලධම්මපාල ජාතකයේ සඳහන් වී තිබේ. ශෝකය නිසා තවත් රජකුට ලේ අතීසාර රෝගය වැලඳුණ බව සාම ජාතකයේ ද සඳහන් ව ඇත.

සසර සැරිසරන සත්ත්වයනට ශෝකයට හේතුවන ව්‍යසනාදිය නිතර පැමිණෙන්නේ ය. විටෙක මව මැරෙන්නේ ය. විටෙක පියා මැරෙන්නේ ය. විටෙක දූපුත්හු මැරෙන්නාහ. විටෙක සහෝදර සහෝදරියෝ මැරෙන්නාහ. විටෙක බිරිය මැරෙන්නේ ය. විටෙක සැමියා මැරෙන්නේ ය. විටෙක නෑයෝ මැරෙති. විටෙක මිතුරෝ මැරෙති. විටෙක ධනය සොරු ගනිති. විටෙක කෙත් වතු පාලු වෙයි. විටෙක ගෙය ගිනි ගනී. විටෙක රස්සාව නැති වේ. විටෙක කළ වැඩ වරදී. විටෙක අපරාධවලට අසුවේ. විටෙක තනතුරු වලින් පහවේ. මේ ආදී කරුණු නිසා සසර වසනා තෙක් ශෝක ඇතිවීම ඉමහත් දුකක් බව දක්නා නුවණැත්තෝ ශෝකයට කරුණු නැති ශෝකයක් නැති නිවන සොයන්නාහ.

පඤ්චක්ඛන්ධෙ සෝකධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අසෝකං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් ශෝක කරවන ස්වභාවයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ශෝක නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

38. පරිදේව ධම්මා

අටතිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ හඬවන ස්වභාවය ඇතියෝ ය.

ශෝකාග්නියෙන් ශරීරය තැවෙන කල්හි ද, බලවත් දුඃඛවේදනාවක් ඇති වූ කල්හි ද, ශරීරය හුණු වී කෙළ සෙම් සොටු කඳුළු ඩහදිය ගලන්නටත් අමිහිරි හඬක් නගින්නටත් වේ. එයට හැඬීම ය යි කියනු ලැබේ. හඬන්නට සිදුවීමත් ඉමහත් දුකෙකි. ස්කන්ධයන්ගෙන් මිදුණ හොත් හැඬීමක් නො වේ. ස්කන්ධයන් ඇතහොත් හඬන්නට සිදු වේ. එබැවින් ස්කන්ධයෝ හඬන හඬවන ස්වභාව ඇතියෝ ය.

“දීඝරත්තං වෝ භික්ඛවේ, මාතුමරණං පච්චනුභූතං, තේසං වෝ මාතුමරණං පච්චනුභොන්තානං අමනාප සම්පයෝගා කන්දන්තානං රුදන්තානං අස්සු පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං”.

යනුවෙන් “මේ අනවරාග්‍ර‍ සංසාරයෙහි එක් පුද්ගලයකු විසින් මවගේ මරණයෙන් සෝපත්ව හෙලූ කඳුළු සතර මහා සාගර ජලයට අධික බව අනමතග්ගසංයුත්තයේ වදාරා ඇත්තේ ය. එසේ ම පියාගේ මරණයෙන් සහෝදරයාගේ මරණයෙන් සහෝදරියගේ මරණයෙන් පුත්‍ර‍ මරණයෙන් දුහිතෘ මරණයෙන් ඥාතිව්‍යසනයෙන් භෝගව්‍යසනයෙන් රෝගව්‍යසනයෙන් වගුළ කඳුළු ද සාගර ජලයට අධික බව වදාරා ඇත්තේ ය. ස්කන්ධ පරම්පරාව පැවතුනහොත් අනාගතයේත් එසේ ම හඬන්නට සිදුවන බව තේරුම් ගත් යෝගාවචරයෝ මහෝත්සාහයෙන් විදසුන් වඩා රහත්ව හැඬීම කෙළවර කරන්නාහ.

“පඤ්චක්ඛන්ධෙ පරිදේවධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අපරිදේවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් හඬවන ස්වභාවය ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය හැඬීමෙන් තොර නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

39. උපායාස ධම්මා

එකුන්සාළිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ තදින් සිත වෙහෙසවන ස්වභාව ඇතියෝ ය.

පවුලේ සැම දෙන ම නැසී එක් අයකු ඉතිරි වූ අවස්ථාව, රජුන් උදහස් වී සියලු වස්තුව ගත් අවස්ථාව, රටින් පිටුවහල් කළ අවස්ථාව, ගින්නෙන් හෝ ජලයෙන් හැඳිවත හැර අන් සියල්ල විනාශ වූ අවස්ථාව, සොරුන් පැමිණ අඹුදරුවන් ද සමග සියලු ධනය පැහැර ගත් අවස්ථාව, රජු කිපී තමා ඉදිරියේ ම තමාගේ දූදරුවන් මරවන අවස්ථාව යනාදී මහා විනාශයන්හිදී ඇතිවන බලවත් සිත් වෙහෙස උපායාස නම් වේ. විපතක් වූ කල්හි හැඬෙන්නේ ශෝකය නිසා ය. උපායාසය ශෝකයට වඩා නපුරු ය. රත් වූ කබලකට වතුර බිඳක් ලූ කල්හි එය එහි ම දැවී සිඳී යන්නාක් මෙන් උපායාසය ඇති වූ කල්හි කඳුළු වැගිරවීමක් නො කොට ඇතුළ ම තදින් දැවේ. පුද්ගලයා නිසල ව සිටී. සමහරුන් තද විපතේ දී සිහි නැති වී වැටෙන්නේ-මැරී වැටෙන්නේ මේ උපායාසය නිසා ය.

ශෝකය ද්වේෂමූල දෙසිතෙහි ඇති දෝමනස්ස වේදනාව ය. එය වේදනාස්කන්ධයට අයත් ය. උපායාසය සිත තදින් දවන තවන ද්වේෂ චෛතසිකය ය. එය සංස්කාරස්කන්ධයට අයත් ය. එය තුදුස් අකුශල චෛතසිකයන්ගෙන් අන්‍ය වූ විසාද නම් චෛතසිකයකැයි ඇතැම්හු කියති යි විශුඬිමාර්ග ටීකාවේ කියා තිබේ.

“පඤ්චක්ඛන්ධෙ උපායාසධම්මෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අනුපායාසං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් තදින් සිත වෙහෙසවන ස්වභාවය ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ, ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය උපායාස නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.

40. සංකිලේසික ධම්මා

සතළිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ කෙලෙසන ස්වභාවය ඇතියෝ ය.

යකඩය එයින් ම මල නැඟී කිලිටි වන්නාක් මෙන් ඒවා අතරින් ම තෘෂ්ණාදෘෂ්ට්‍යාදී කෙලෙස්මල හා දුශ්චරිත මලයන් නැඟී ස්කන්ධයෝ කිලිටි වෙති. භවයෙහි පිළිසිඳ ගත් සත්ත්වයා හට පළමුවෙන් ම ඇති වන්නේ ඒ අලුත් භවයට ඇලුම් කරන තෘෂ්ණා ක්ලේශය ය. ඉන්පසු ඒ පඤ්චස්කන්ධය ආත්ම වශයෙන් ගන්නා දෘෂ්ටි ක්ලේශය උපදී. කල් යාමෙන් ඒ සත්ත්වයාගේ සන්තානයෙහි ද්වේෂ ඊර්ෂ්‍යා මාත්සර්ය මානාදී අවශේෂ ක්ලේශයෝ ද උපදිති. සත්පුරුෂ සේවනයක් නැතිව, සද්ධර්ම ශ්‍ර‍වණයක් නැතිව, අවිද්‍යාවෙන් අන්ධව කල් යවන්නා වූ පුද්ගලයාගේ සන්තානයෙහි නිතර නිතර නැවත නැවත ඇති වීමෙන් හුණ පඳුරක් සේ කෙලෙස්හු ඝනව වැඩෙති. ඒ කෙලෙස් වැඩීම නිසා ඔහුගෙන් ප්‍රාණඝාතාදි අනේකප්‍ර‍කාර පව්කම් ද කෙරෙන්නට වේ. මෙසේ ඇතිවන වැඩෙන ක්ලේශයෝ අනුශය වශයෙන් හා පරියුට්ඨාන වශයෙන් ලෝකෝත්තර මාර්ගඥානය නමැති ජලයෙන් සෝදා හරින තෙක් පවතිත්.

සත්පුරුෂ සේවන - සද්ධර්මශ්‍ර‍වණාදියෙන් අවිද්‍යා පටලය තුනී කරගත් ඇතැම්හු ක්ලේශයන්ගේ හා දුශ්චරිතයන් ගේ නපුර තේරුම් ගෙන ඒවායින් වැළකී සිටීමට උත්සාහ කෙරෙති. ඇතැමෙක් තෙරුවන් සරණ ගොස් පව්කම් හැර උපාසකයෝ වෙති. වඩාත් ශුද්ධ ජීවිතයක් පවත්වනු කැමති ඇතැම්හු “සම්බාධෝ ඝරාවාසෝ රජාපථෝ අබ්භෝකාසෝ පබ්බජ්ජා” යනුවෙන් දැක්වෙන පරිදි “මේ ගිහිගෙය කුශලයට අවහිර තැනක, කෙලෙස් රජස් නගින තැනක, පැවිද්ද අවකාශ ස්ථානයකැ” යි සලකා ගිහි ගෙය හැර පැවිදිව සිල් රකින්නට පටන් ගනිති. ස්කන්ධයන් කෙලෙසන ස්වභාවය ඇතියවුන් බැවින් ද, කෙලෙස් ඇති කරන බොහෝ හේතූන් සත්ත්වයා වටා ඇති බැවින් ද පෘථග්ජන පුද්ගලයකුට දිවිහිමියෙන් ශුද්ධ ජීවිතයක් පැවැත්වීම අති දුෂ්කර වේ. එබැවින් උපාසකයාගේ සන්තානයෙහි වරින් වර කෙලෙස් නැඟී එයි. වරින් වර හේ පව්කම් ද කරයි. සමහරු කලක් කෙලෙසුන් යටපත් කරගෙන දුසිරිතෙන් වැළකී සිට නැවතත් සුරාපාන, මිථ්‍යාචාරාදී පව්කම්වල යෙදෙති. පැවිදිවූවෝ ද නැවත ගිහි බවට පැමිණෙති. සාමාන්‍ය පුද්ගලයන් තබා අප මහ බෝසතාණන් වහන්සේ ද පැවිදිව සිට පසුව කෙලෙසුන්ට වසඟ වූ බව ජාතක කථාවල දක්වා ඇත්තේ ය.

පෙර බරණැස් රජු ගේ පුත්‍ර බ්‍ර‍හ්මදත්ත කුමාරයා ය, පුරෝහිත පුත්‍ර‍ කාශ්‍යපය යන දෙදෙන එක් ඇදුරු කුලයක සිප් සතර උගත්තෝ ය. බ්‍ර‍හ්මදත්ත කුමාර තෙමේ පිය රජු ඇවෑමෙන් රජ විය. පුරෝහිත පුත්‍ර‍ කාශ්‍යප “මාගේ යහළුවා රජ විය. දැන් මට ඔහුගෙන් බොහෝ සම්පත් ලැබෙනු ඇත. මට මේ රජුගෙන් ලැබෙන යස ඉසුරෙන් කිනම් ප්‍රයෝජනයක් ද? මම පැවිදි වෙමි”යි සිතා මාපියන් ගෙන් හා රජුගෙන් අවසර ගෙන හිමාලය වනයට ගොස් පැවිදිව සතියකින් ධ්‍යානාභිඥා උපදවා එහි ම විසුයේ ය. ඔහු පැවිදි වීමෙන් පසු ලෝමසකාශ්‍යප ය යි ප්‍ර‍සිද්ධ විය. හෙතෙමේ ඝෝර තපස් ඇති තව්සෙක් විය. එතුමාගේ තපස් තේජසින් සක්දෙව් රජුගේ භවන සෙලවී ගියේ ය. සක්දෙව් රජ භවන සෙලවීමේ කරුණ විමසනුයේ ලෝමසකාශ්‍යප තවුසාණන් ගේ තපස් තේජසින එය සෙලවුණු බව දැන “මේ තවුසා මා ශක්‍ර‍භාවයෙන් පහ කරන්නට ද බැරි නැත. එ බැවින් බරණැස් රජු හා එක් වී මොහු ගේ තපස නැති කරමි”යි එක් රාත්‍රියක රජුගේ නිදන කාමරයට පිවිස තමාගේ ශරීරාලෝකයෙන් කාමරය එළිය කරමින් අහසෙහි සිට “නැගිටිනු මහරජ” යි කියා රජු අවදි කොට, “මහරජ, මුළු දඹදිවට ම රජ වන්නට කැමති දැ”යි ඇසීය. රජතුමා “හැකිනම් නො කැමති වන්නේ කිම දැ”යි කීය. එසේ නම් “ලෝමසකාශ්‍යප තවුසාණන් ගෙන්වා ඔහු ලවා සතුන් මරා කරන වාජපෙය්‍ය නම් මහායාගය කරවව. ඉන්පසු ඔබට ශක්‍ර‍යා සේ අජරාමර වී මුළු දඹදිව රජ කළ හැකි වන්නේය” යි කීය. රජ තෙමේ පසුදින සය්හ නම් ඇමති ගෙන්වා “යහළුව, ලෝමසකාශ්‍යපයන් ලවා යාගය කරවා ගත හොත් මට මුළු දඹදිව ම රජ විය හැකිය, මෙහි ඇවිත් යාගය කරන්නය, මම ඔහු කැමති තරම් මහත් ප්‍රදේශයක් දෙමිය, ඒ බව තාපසයන්ට දන්වා යාගය පිණිස ඔහු කැඳවා ගෙන එව”යි කියා ඔහු පිටත් කෙළේ ය. ඇමති ලෝමකාශ්‍යපයන් වෙසෙන තැන දන්නා කෙනකු සොයා ඔහු පෙරටු කොට මහ පිරිවරින් එහි ගොස් තාපසයන්ට රජුගේ පණිවිඩය දැන්වීය. ලෝමසකාශ්‍යප තාසපසෝ “අධර්ම්යෙන් ලබන යසඉසුර නින්දිතය, මුු දඹදිව මට ලැබෙතත් මා ඒ යාගය කරන්නට නො කැමැත්තෙමිය” කියා රජුගේ ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කළහ. ඇමතිතුමා පෙරළා අවුත් රජුට කාරණය දැන්වීය. රජතෙමේ තාපසයන් නො එනවා නම් කුමක් කරන්නෙම්දැ යි තුෂ්ණීම්භූත විය. නැවතත් සක්දෙව් රජ පැමිණ රජුගේ දියණිය වන චන්ද්‍ර‍වතී කුමරිය සරසවා සය්හ හා තාපසයන් වෙත යවා “ඉදින් මේ යාගය කරන්නට එන්නාහු නම් මේ කුමරියත් දෙමියි” තාපසයන්ට කියව, තාපසයෝ කුමරිය කෙරෙහි ඇලී එනු ඇතැ”යි කීය. රජතුමා පසුදින කුමරිය සරසවා සය්හ ඇමති හා තාපසයන් වෙත යැවීය.

සය්හ, කුමරිය ද කැටුව තවුසාණන් වෙත ගොස්, දෙවඟනක බඳු රූසිරියෙන් යුත් කුමරිය දක්වා තාපසයන්ට කාරණය දැන්වී ය. කුමරිය දුටු කෙණෙහි ම, ධ්‍යාන බලයෙන් කාලාන්තරයක් කෙලෙසුන් යටපත් කර ගෙන විසූ තාපසයන් කෙරෙහි කෙලෙස් මතු විය. තාපසයේ ධ්‍යානයෙන් පිරිහුණහ. ඉක්බිති තාපසයෝ කුමරිය කෙරෙහි ලෝභයෙන් ඇය හා එක යානයක නැඟී යාගය පිණිස බරණැස බලා පිටත් වූහ. රජතුමා තාපසයන් එනු අසා සතුන් ගෙන්වා බැඳ තබවා යාගය පිළියෙළ කරවී ය. තාපසයෝ චන්ද්‍ර‍වතිය සමඟ ම යාගස්ථානයට ගොස් බැඳ සිටි ඇත්, අස්, ගව ආදී සතුන් ගැණ බලා යාගයට සූදානම් වූහ. ඒ බව මහජනයා දැක “තාපසයෙනි, ඔබ කුමක් කරන්නට යන්නහු ද? මේ පව්කම් ඔබට සුදුසු නැතැ”යි ඝෝෂා කළහ. එකල්හි තාපස, යාගය කරනු පිණිස මඟුලැතුගේ ගෙලට පහර දීම සඳහා කඩුව එසවී ය. ඇතු බිය වී මහ හඬ නඟන්නට වූහ. එය අසා තාපස බිය විය. ඔහුට තමා තවුසකු බව දැනුණේ එවිට ය. අන්තිම අවස්ථාවේ තාපස, එය ප්‍ර‍තික්ෂේප කොට යම්තම් කරන්නට ගිය මහා ප්‍රාණඝාතයෙන් බේරුණේ ය. ලෝමසකාශ්‍යප තාපසයෝ අන්තිම මොහොතේ දී නැවතත් සිහිනුවණ ලැබ, එහිදී ම ධ්‍යානාභිඥා ද නැවත උපදවා ගෙන රජුට දහම් දෙසා හිමාලය වනයට ම ගියහ. මේ ලෝමසකාශ්‍යප ජාතකය ය. තවත් මෙබඳු කථා ගණනක් ම ජාතක පොතේ එන්නේ ය. සිල් පිරිසිදු කර ධ්‍යානාභිඥා උපදවා ගෙන සිටින උත්තම පුද්ගලයන් පවා මෙසේ කෙලෙසුන්ගෙන් කිලිටි වන කල්හි සාමාන්‍ය පුද්ගලයන් කිලිටි වීම ගැන කියනමු කිම?

මෙසේ කෙලෙසුන් ගෙන් හා දුසිරිතෙන් වරින් වර කිලිටි වීම භයානක කරුණෙකි. බෙහෝ දන් දුන් බොහෝ කල් සිල් රැකි බොහෝ භාවනා කළ අය පවා සමහර විට මරණින් මතු අපාගත වන්නේ ස්කන්ධයන්ගේ මේ කිලිටි වන ගතිය නිසා ය. ස්කන්ධයන් මේ ක්ලේශමල දුශ්චරිත මලයෙන් නැවත නැවත කිලිටි වී නිසා මැරෙන මිනිසුන්ගෙන් ඉතා බොහෝ දෙනෙක් අපායට ම යන්නාහ.

දිනක් භාග්‍යවතුන් වහන්සේ නිය‘ඟට ගත් පස් ස්වල්පයක් ගෙන භික්ෂූන්ට දක්වා “මහණෙනි, මා නිය පිට තබා ගෙන සිටින මේ පස් ටිකෙන් හා මහ පොළොවේ පස්වලින් කවරක් වැඩි දැ”යි විචාළ සේක. භික්ෂූහු “ස්වාමීනි, නුඹ වහන්සේගේ නිය‘ග ඇති පස ඉතා සුළු ය, පොළොවේ පස ඉතා බොහෝය, නුඹ වහන්සේගේ නිය පිට ඇති පස් ස්වල්පය මහපොළොවේ පස්වලින් දහසින් පංගුවක් හෝ දස දහසින් පංගුවක් හෝ ලක්ෂයෙන් කෝටියෙන් පංගුවක් පමණ හෝ නොවන්නේය”යි සැලකළෝ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ-

“එවමේව ඛො භික්ඛවේ, අප්පකා තේ සත්තා යේ මනුස්සා චුතා මනුස්සේසු පච්චාජායන්ති. අථ ඛෝ එතේයේව බහුතරා සත්තා යේ මනුස්සා චුතා තිරච්ඡානයෝනියා පච්චාජායන්ති.”

යනුවෙන් “මහණෙනි, එපරිද්දෙන් ඉතා ටික දෙනෙක් ම මිනිස් ලොවින් ච්‍යුතව මිනිස් ලොව උපදනාහ. මිනිස්ලොවින් ච්‍යුතව තිරිසන් යෝනියෙහි උපදනා සත්ත්වයෝ ම බොහෝ වෙති” යි වදාළ සේක.

“ඒව මේව ඛෝ භික්ඛවේ අප්පකා තේ සත්තා යේ මනුස්සා චුතා මනුස්සේසු පච්චාජායන්ති. අථ ඛෝ එතේයේව බහුතරා සත්තා යේ මනුස්සා චුතා පෙත්ති විසයේ පච්චාජායන්ති.”

ඒවමෙව ඛෝ භික්ඛවේ අප්පකා තේ සත්තා යේ මනුස්සා චුතා දේවේසු පච්චාජායන්ති. අථ ඛෝ ඒතේ ඒව බහුතරා සත්තා යේ මනුස්සා චුතා නිරයේ පච්චාජායන්ති

(සච්චසංයුත්ත)

යන පාඨවලින් මිනිස් ලොවින් ච්‍යුතව ප්‍රේතව උපදින්නවුන් ම නරකයෙහි උපදින්නවුන් ම බොහෝ බව වදාරා ඇත්තේ ය. කෙලෙසුන්ගෙන් හා දුශ්චරිතයන්ගෙන් කෙලෙසන පඤ්චස්කන්ධය දරන කල්හි නැවත නැවත අපාගත වීමේ නපුර තේරුම් ගත් නුවණැත්තෝ විදසුන් වඩා අපායෙන් හා පඤ්චස්කන්ධයෙන් මිදෙති.

“පඤ්චක්ඛන්ධෙ සංකිලේසික ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අසංකිලිට්ඨං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් කෙලෙසන ස්වභාව ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය නො කෙලෙසෙන නිවන යයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.

යෝගාවචරයකුට ලෝකෝත්තර මාර්ගයට පැමිණීම සඳහා ප්‍ර‍ධාන වශයෙන් වුවමනා වන්නේ රූප-වේදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ යන ස්කන්ධ පසෙහි අනිත්‍ය-දුඃඛ-අනාත්ම යන ලක්ෂණ තුන හරියට තේරුම් ගැනීම ය. හරියට දැක ගැනීම ය. අනිච්චං දුක්ඛං අනාත්තා යන වචන තුනෙන් පමණක් ත්‍රිලක්ෂණය හරියට තේරුම් ගැනීම අපහසු ය. නොයෙක් වචනවලින් නොයෙක් ආකාරයෙන් ලක්ෂණත්‍ර‍ය මෙනෙහි කරන යෝගාවචරයාට එය තේරුම් ගැනීම පහසු ය. මේ චත්තාළීසාකාරයෙන් විදර්ශනා කළ යුත්තේ ඒ නිසා ය. මේ භාවනාපද සතළිසෙන් දැක්වෙන්නේ කරුණු සතළිසක් නොව අනිච්ච-දුක්ඛ-අනත්ත යන කරුණු තුන ය.

මේ චත්තාළීසාකාර භාවනාවෙහි අනිත්‍ය ලක්ෂණය දක්වන භාවනා පද දසයෙකි. අනිච්චා, පලෝකා, චලා, පහඞ්ගු, අද්ධුවා, විපරිණාමධම්මා, අසාරකා, විභවා, සඞ්ඛතා, මරණධම්මා යන මේ දශය අනිත්‍යලක්ෂණය පිළිබඳ භාවනා පදයෝ ය.

දුඃඛලක්ෂණය පිළිබඳ භාවනා පද පස්විස්සෙකි. දුක්ඛා, රෝගා, ගණ්ඩා, සල්ලා, අඝා, අඝමූලා, ආබාධා, ඊති, උපද්දවා, භයා, උපසග්ගා, අතාණා, අලේණා, අසරණා, ආදීනවා, වධකා, සාසවා, මාරාමිසා, ජාතිධම්මා, ජරා ධම්මා, ව්‍යාධි ධම්මා, සෝකධම්මා, පරිදේවධම්මා, උපායාසධම්මා, සංකිලේසිකධම්මා මොවුහු දුඃඛ ලක්ෂණය පිළිබඳ භාවනා පදයෝ ය.

අනාත්ම ලක්ෂණය පිළිබඳ භාවනා පද පසෙකි. අනත්තා, පරේ, රිත්තා, තුච්ඡා, සුඤ්ඤා යන මේ පස අනාත්ම ලක්ෂණය පිළිබඳ භාවනා පදයෝ ය.

අනිත්‍යලක්ෂණය පිළිබඳ භාවනා පද දශය “රූපං අනිච්චං පලෝකං චලං පභඞ්ගු අද්ධුවං විපරිණාමධම්මං අසාරකං විභවං සඞ්ඛතං මරණධම්මං” යි රූපස්කන්ධය හා යොදා භාවනා කළ යුතු ය. වේදනාදි ස්කන්ධ සතර හා යොදා ද භාවනා කළ යුතු ය. එසේ කරන කල්හි අනිච්චානුපස්සනා පනසක් වේ. දුඃඛලක්ෂණය පිළිබඳ භාවනා පද පස්විස්ස වෙන වෙන ම ස්කන්ධ පඤ්චකය හා යෙදූ කල්හි දුක්ඛානුපස්සනා එකසිය විසිපහක් වේ. අනාත්ම ලක්ෂණය පිළිබඳ භාවනා පද පස එක් එක් ස්කන්ධයන් හා වෙන වෙන ම යෙදූ කල්හි අනත්තානු පස්සනා පස්විස්සක් වේ. මේ භාවනා ක්‍ර‍මයේ සැටියට අනුපස්සනා දෙසීයකි.

චත්තාළීසාකාර විපස්සනා භාවනාව කළ යුතු ආකාරය

කසිණ භාවනා ආනාපාන භාවනා මෛත්‍රී භාවනාදි සමථ භාවනා අබුද්ධෝත්පාද කාලවල ද ඇත්තේ ය. විපස්සනා භාවනාව වනාහි බුදුසසුනකින් මිස අන් තැනකින් ලැබිය නො හෙන කෙළින් ම මඟපලවලට හා නිවනට පමුණුවන භාවනාව ය. එබැවින් බුද්ධශාසනයෙන් ලබා ගත යුතු උසස් දෙය ලබා ගනු කැමති පින්වතුන් මේ විපස්සනා භාවනා ක්‍ර‍මය උගෙන එහි යෙදිය යුතු ය.

යෝගාවචරයා විසින් මුලින් ම කළ යුත්තේ අනිච්චා දුක්ඛා යනාදි භාවනා පද සතළිස කටපාඩම් කර ගැනීම ය. ඉන්පසු මේ පොත නැවත නැවත බොහෝ වාර ගණනක් කියවා භාවනා පද සතළිස තේරුම් ගත යුතු ය. තේරුමක් නැතිව, භාවනා කරමි යි කියා භාවනා පද කිය කියා සිටීමෙන් පලක් නැත. ඉක්බිති විවේකස්ථානයකට එළඹ වාඩි වී හෝ අන් ඉරියව්වකින් හෝ සිට තමා ගේ රූප කයට සිත යොමු කර එහි අනිත්‍යතාව වැටහෙන ක්‍ර‍ම වලින් සිහි කරනු. රූපස්කන්ධය කොටස්වලට බෙදා ඇස අනිත්‍ය ය යනාදීන් බැලිය හැකි නම් එසේ බැලීම ද හොඳ ය. වේදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ යන නාමස්කන්ධ සතර සිහි කරමින් ඒවායේ අනිත්‍යතාව සිහි කර බලනු. ස්කන්ධ පස ද එකවර ගෙන අනිත්‍යතාව බලනු. ස්කන්ධයන්ගේ අනිත්‍යතාව හරියට දුටහොත් ඒවායේ දුඃඛාදිය ලෙහෙසියෙන් පෙනෙනු ඇත. අනිත්‍ය ලක්ෂණය නො දුටු යෝගාවචරයාහට දුඃඛාදී ලක්ෂණ ද නො පෙනෙන්නේ ය. භාවනා කිරීමේ දී එක් දිනයක දී භාවනා පද සියල්ල නො ගෙන එකක් පමණක් ගෙන භාවනා කිරීම සුදුසු ය. දිනකට එක බැගින් ගෙන භාවනා කොට භාවනා පද ගැන තේරුම් ඇති වූ පසු දිනකට වැඩි ගණනක් භාවනා පද ගෙන භාවනා කිරීම සුදුසු ය. පද සතළිස ම ගෙන භාවනා කිරීම ද සුදුසු ය. එසේ භාවනා කරන යෝගාවචරයා හට විදර්ශනාඥානය දියුණු වූ කල්හි පඤ්චස්කන්ධය ඇලුම් කළ යුත්තක් නොව, නපුරක් ලෙස, හළ යුත්තක් ලෙස බිය විය යුත්තක් ලෙස පෙනෙන්නට වන්නේ ය. පඤ්චස්කන්ධයෙන් මිදිය හැකි නම්, එය ම යහපත ලෙස ඔහුට වැටහෙන්නේ ය. මේ කාලයේ දී යෝගාවචරයා පඤ්චස්කන්ධයාගේ අනුත්පාද නිරෝධයටත් සිත යොමු කරමින් භාවනාවෙහි යෙදෙයි. එසේ භාවනා කරන යෝගාවචරයා ගේ නුවණට ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය වූ නිවන හොඳට ම ප්‍ර‍කට පෙනී ගියේ නම්, එයට සෝවාන් මඟට (ඵලයට) පැමිණීම යයි කියනු ලැබේ. මේවා යෝගාවචරයන් මුළාවන තැන් ය. සමහර යෝගාවචරයන්ට සෝවාන් මඟට නො පැමිණ ද පැමිණියෙමි යි සිතේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම

ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා අරියසච්චං, අයමෙව අරියෝ අට්ඨඞ්ගිකෝ මග්ගෝ, සෙය්‍යථීදං? සම්මා දිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි.”

යනාදීන් නොයෙක් සූත්‍ර‍යන්හි සම්මාදිට්ඨි ආදී ධර්ම අට දුඃඛ නිරෝධ සඞ්ඛ්‍යාත නිවනට පැමිණීමේ මාර්ගයයි දේශනය කර ඇත්තේ ය. සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය කියා නම් සතරක් ව්‍යවහාර කරන්නේ දියුණු වී ලෝකෝත්තර භාවයට පැමිණියා වූ අෂ්ටාඞ්ගික මාර්ගය ම ය.

ධර්මය පිළිබඳ නියම දැනීමක් තමන්ට නැතත් දනුම්හයි සිතාගෙන ලොවටත් අනුශාසනය කිරීමට ඉදිරිපත් වන ඇතැමුන් මේ ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය අවුල් කර තේරුම් කරන බැවින් විදර්ශනා වඩන බොහෝ යෝගාවචරයෝ ද තමන් කරන්නේ කුමක් ද කියා නො දනිති. යෝගාවචරයන් විසින් විදර්ශනා වැඩීම ය කියා කියන්නේ අනිකක් නොව, ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වැඩීම ය.

සම්මාදිට්ඨි යනු නිවැරදි දැකීම හෙවත් දැනීම ය. යෝගාවචරයන් විදර්ශනා කිරීමය යි කරන්නේ සාමාන්‍ය ජනයා සත්ත්වයන් පුද්ගලයන් වශයෙන් වරදවා සිතා ගෙන සිටින නාමරූප ධර්ම සමූහයන් රූප වේදනාදී වශයෙන් විභාග කර ඒවායේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීම හා සාමාන්‍ය ජනයා විසින් නිත්‍ය දේ සැප දේ හොඳ දේ සැටියටත් ආත්මය ලෙසත් වරදවා තේරුම් ගෙන සිටින ස්කන්ධයන්ගේ අනිත්‍ය දුඃඛ අශුභ අනාත්ම ස්වභාවයන් බැලීමෙන් හරි දැනීම ඇති කර ගැනීම ය. හරි දැනීම දියුණු කිරීම ය. ඒ හරි දැනීම දියුණු කිරීම ආර්ය්‍යඅෂ්ටාඞ්ගික මාර්ගයේ පළමුවන අඞ්ගය වූ සම්මා දිට්ඨිය වැඩීම ය. ඔහු විසින් රූපාදි සංස්කාරයන් පිළිබඳවත්, ඒවායේ අනිත්‍යාදි ලක්ෂණ පිළිබඳවත්, සසර දුකින් මිදී නිවන් ලැබීම පිළිබඳවත් යම් යහපත් කල්පනාවක් කෙරේ නම් ඒ සම්මාසඞ්කප්ප නමැති දෙවන මාර්ගාඞ්ගය වැඩීම ය. යෝගාවචරයන් භාවනා කරන්නේ කායවාග්දුශ්චරිතයන්ගෙන් හා මිථ්‍යාජීවිකාවෙන් වැළකී සිට ගෙන ය. එය සම්මා වාචා සම්මාකම්මන්ත සම්මා ආජීව යන මාර්ගාඞ්ග තුන වැඩීම ය. විදර්ශනා වඩන කල්හි දුශ්චරිත දුරාජීවයන්ට හේතුවන ලෝභාදී ක්ලේශයෝ තුනී වෙති. එද සම්මාවාචාදි අඞ්ග තුන වැඩීම ය. අනලසව භාවනාවෙහි යෙදීම සම්මා වායාම නමැති සවන මාර්ගාඞ්ගය වැඩීම ය. නානාරම්මණයන් කරා සිතට යන්නට නො දී භාවනාව සම්බන්ධ අරමුණු ම නැවත නැවත සිතට නඟා ගැනම - මතු කර ගැනීම සම්මා සති නමැති සත්වන මාර්ගාඞ්ගය වැඩීම ය. අනා පදම් කළ නො වියළුණු මැටි ගුලියක් ගලක් උඩට හෙලූ කල්හි පෙරළීමක් උඩ පැනීමක් පිපිරීමක් නො වී වැටුණු තැන ම ගල බදා නිශ්චලව සිටින්නාක් මෙන්, පැමිණෙන පැමිණෙන ආරම්මණයෙහි නො සැලී සිත පිහිටවන්නා වූ ස්වභාවය සමාධි නම් වේ. සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂණයන් දක්නා කල්හි යෝගාවචරයාහට කාමයන්ගේ නිසරු බව හා භයානක බව ද විදර්ශනාව අනුව ම වැටහීමෙන් ක්‍ර‍මයෙන් කාමච්ඡන්දය තුනී වේ. දුරු වේ. කුශලචිත්ත සමාධියට ඇති ප්‍ර‍ධාන බාධකය කාමච්ඡන්ද නීවරණය ය. කාමච්ඡන්දය බලවත්ව පවත්නා කල්හි සිතෙහි කාමයන් අතට ඇදීමක් ඇති බැවින් විදර්ශනා කරන ආරම්මණයන්හි සිත නිශ්චලව නො පිහිටයි. කාමච්ඡන්දය දුරු වත් වත් ම සිත භාවනාරම්මණයෙහි නිශ්චල වේ. එය සමාධිය දියුණු වීම ය. විදර්ශනා කිරීම් වශයෙන් සමාධිය දියුණු කිරීම සම්මාසමාධි නමැති අටවන මාර්ගාඞ්ගය වැඩීම ය. විදර්ශනාඥානයට අරමුණ හොඳින් ගත හැකි වන්නේ එයට අරමුණෙහි නිසලව පිහිටිය හැකි වුව හොත් ය. එබැවින් බලව්ත සමාධිය හා ඇතිවන විදර්ශනාඥානය ආරම්මණයේ තත්ත්වය පැහැදිලි ලෙස ගන්නා උසස් ඥානයක් වෙයි. සමාධිය දුබල ල්හි දියුණු තියුණු විදර්ශනා ඥානයක් ඇති නො වේ. සමාධිය අනුව විදර්ශනා ඥානය දියුණු වේ. විදර්ශනා ඥානය අනුව සමාධිය දියුණු වේ. ඒ ධර්මයෝ දෙදෙන ඔවුනොවුන්ගේ උපකාරයෙන් දියුණු වන්නෝ ය.

බෝධිපාක්ෂික ධර්ම වැඩීම

“අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයතෝ අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරෝතෝ චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පාරිපූරං ගච්ඡන්ති. චත්තාරෝපි සම්මප්පධානා භාවනා පරිපූරං ගච්ඡන්ති, චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පාරිපූරං ගච්ඡන්ති, පඤ්චපි ඉන්ද්‍රියානි භාවනා පාරිපූරං ගච්ඡන්ති, පඤ්චපි බලානි භාවනා පාරිපූරං ගච්ඡන්ති, සත්තපි බොජ්ඣඞ්ගා භාවනා පාරිපූරං ගච්ඡන්ති.”

යනුවෙන් ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වැඩීම අනුව විදර්ශනා කරන යෝගාවචරයන්ගේ සන්තානයෙහි ඉතිරි බෝධිපාක්ෂික ධර්මයන් වන සතිපට්ඨාන සම්මප්පධාන ඉද්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ඣඞ්ග යන මාර්ගාඞ්ගයන් ද වැඩෙන බව මග්ගසංයුත්තයේ වදාරා ඇත්තේ ය.

මගපල ලැබීම

ස්කන්ධයන් අනිත්‍ය-දුඃඛ-රෝග-ගණ්ඩාදි වශයෙන් විදර්ශනා කරන යෝගාවචරයාගේ සන්තානයෙහි ලෞකික මාර්ගාඞ්ග වශයෙන් ක්‍ර‍මයෙන් වැඩෙන මාර්ගාඞ්ග ධර්මයන් දියුණු වූ පසු යෝගාවචරයා භාවනාවෙහි යෙදී සිටින යම්කිසි හොඳ අවස්ථාවකදී ඒ මාර්ගාඞ්ග ධර්මයෝ නිවන අරමුණු කෙරෙමින් ක්ලේශ ප්‍ර‍හාණ ශක්තියෙන් යුක්තව ලෝකෝත්තර භාවයෙන් එක්වර සියල්ල එකට බැඳී ඒ යෝගාවචරයා ගේ සන්තානයෙහි පහළ වේ. ඒ සෝවාන් මාර්ගය ය. සෝවාන් මාර්ගය සන්තානයෙහි පහළ වීමෙන් අනාදිමත් සංසාරයෙහි අති දීර්ඝකාලයක් නැවත නැවත අපායවල වැටෙමින් පෘථග්ජනයකු වශයෙන් සසර සැරිසැරූ යෝගාවචරයා ලාමක වූ පෘථග්ජන භාවයෙන් නැඟී ආර්ය පුද්ගලයෙක් වන්නේ ය. ඔහු සසර පමා වුව ද නැවත අපායකට නො පැමිණෙන්නේ ය. යම්කිසි දිනකදී රහත්ව පිරිනිවීමට නියත පුද්ගලයෙක් වන්නේ ය. සෝවාන් මාර්ගයෙන් දෘෂ්ටි විචිකිත්සා නමැති කෙලෙස් දෙක ඉතිරියක් නැති පරිදි මතු කිසි කලෙක අනාගත භවයකදී වුව ද ඇති නොවන පරිදි ප්‍ර‍හාණය වේ. අවශේෂ රාග ද්වේෂාදි ක්ලේශයෝ ද තුනී වෙති. තුනී වීමය යනු පෘථග්ජනයන්ට මෙන් නිතර ඇති නො වීම හා ඇති වුව ද අන්සතු දෙය පැහැර ගන්නා තරමට තදින් ඇති නො වීම ය. සෝවාන් පුද්ගලයාට කලාතුරකින් කෙලෙස් ඇති වුව ද ඔහු අතින් අපායෝත්පත්තියට හේතු වන පව්කම් සිදු නො වේ. සෝවාන් පුද්ගලයකු වීම චක්‍ර‍වර්ති රජකු වීමට ද වඩා උසස් බව තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. චක්‍ර‍වර්තී රජතෙමේ මිනිස් ලොව මුළු පොළවට ම අධිපතිව සිට මරණින් මතු දෙව්ලොව ඉපද එහි නන්දන වනාදියෙහි දෙවඟනන් පිරිවරා දිව්‍යමය පඤ්චකාම සම්පත්තියෙන් සතුටු වෙමින් වාසය කෙරේ. එහෙත් අපායට ගෙන යන ක්ලේශයෝ ඔහු තුළ ඇත්තාහ. ඔහු ඒ දිව සැප විඳින්නේ මතු නරකයට යන, තිරිසන් බවට පැමිණෙන, ප්‍රේත බවට පැමිණෙන ස්වභාවය තිබියදී ම ය.

“කිඤ්චාපි භික්ඛවේ අරියසාවකෝ පිණ්ඩියාලෝපේන යාපේති නන්තකානි ධාරේති. යෝ චතූහි ධම්මේහි සමන්නාගතෝ. අථ ඛෝ සෝ පරිමුත්තෝ නිරයා, පරිමුත්තෝ තිරච්ඡානයෝනියා, පරිමුත්තෝ පෙත්තිවිසයා, පරිමුත්තෝ අපායදුග්ගති විනිපාතා.”

යනුවෙන් “මහණෙනි ආර්යශ්‍රාවක තෙමේ ඉදින් පිඬු සිඟා ලබන භෝජනයෙන් යැපෙන්නේ ද රෙදි කැබෙලි හඳින්නේ ද ඔහු සෝතාපත්ති අඞ්ග සතරින් යුක්ත ය. ඔහු නරකයෙන් මිදුණෙක, තිරිසන් යෝනියෙන් මිදුණෙක, ප්‍රේත භාවයෙන් මිදුණෙක, අපාය සඞ්ඛ්‍යාත දුර්ගතියට වැටීමෙන් මිදුණෙකැ”යි සෝතාපත්ති සංයුත්තයේ වදාරා ඇත්තේ ය.

සෝවාන් පුද්ගලයාගේ අඞ්ග සතර නම්:-

“බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති. සඞ්ඝෙ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති, අරියකන්තේහි සීලේහි සමන්නාගතො හෝති.”

යනුවෙන් දැක්වෙන බිය ගැන්වීම් ධනය දීම් තනතුරු දීම් ආදි කිසි ම ක්‍ර‍මයකින් කිසිවකුට මඳකුදු සෙලවිය නොහෙන පරිදි බුදුන් වහන්සේ කෙරෙහි පැහැදීම් ඇති බව, ධර්මය කෙරෙහි එබඳුම පැහැදීම් ඇති බව, සඞ්ඝයා කෙරෙහි එබඳු පැහැදීම ඇති බව, ආර්ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත බව යන කරුණු සතර ය. ආර්යකාන්ත ශීලය යනු වරින් වර ඇතැම් සිකපද නො කඩා ස්ථිර ලෙස රක්ෂා කරන ශීලය ය.

සෝවාන් පුද්ගලයා විසින් තමා කෙරෙහි අප්‍ර‍හීණ ක්ලේශයන් ප්‍ර‍හාණය කරනු පිණිස නැවතත් පෙර පරිදි ම ස්කන්ධයන් අනිත්‍ය දුක්ඛ රෝගාදි වශයෙන් විදර්ශනා කළ යුතු ය. එසේ කරන කල්හි යම් කිසි අවස්ථාවක දී නැවතත් අෂ්ටාඞ්ගික මාර්ගය පළමු වාරයේ ඇති වූවාට වඩා දියුණු තියුණුව වඩා ශක්තියෙන් යුක්තව නිර්වාණය අරමුණු කෙරෙමින් ඒකක්ෂණයෙහි ඇති වේ. දෙවන වර ඇතිවන ඒ ලෝකෝත්තර මාර්ගයට සකෘදාගාමි මාර්ගයයි කියනු ලැබේ. එහි බලයෙන් සෝවාන් මාර්ගයෙන් අප්‍ර‍හීණව ඉතිරිව තිබූ ක්ලේශයෝ තවත් තුනී වී යෙති. සකෘදාගාමී ආර්යශ්‍රාවකයා විසින් ද ඉතිරි ක්ලේශයන් ප්‍ර‍හාණය කොට අනාගාමි වීම සඳහා නැවත ද පෙර සේම විදර්ශනා කළ යුතු ය. එසේ කරන කල්හි යම්කිසි අවස්ථාවක දී නැවත ද නිර්වාණය අරමුණු කරමින් මාර්ගාඞ්ග ධර්ම අට ලෝකෝත්තරත්වයෙන් ඒකක්ෂණයෙහි පහළ වේ. තුන්වන වර පහළ වන ඒ ලෝකෝත්තර මාර්ගය අනාගාමී මාර්ගය ය. එහි බලයෙන් සෝවාන් සකෘදාගාමී මාර්ගවලින් තුනී වී තුබූ කාමරාග ව්‍යාපාද යන ක්ලේශයෝ දෙදෙන නිරවශේෂයෙන් ප්‍ර‍හාණය වෙති. එබැවින් අනාගාමි පුද්ගලයා ඒ ආත්මභාවයේදී ම රහත් නුවූව ද කාම ලෝකයෙහි නූපදී. අනාගාමී පුද්ගලයා විසින් තමාට ඉතිරි වී ඇති රූපරාග අරූපරාගාදි ක්ලේශයන් ප්‍ර‍හාණය කොට අර්හත්වයට පැමිණීම පිණිස-

“අනාගාමිනා පි ඛෝ ආවුසෝ කොට්ඨිත, භික්ඛුනා ඉමේ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාතබ්බා” යි

වදාරා ඇති පරිදි උපාදානස්කන්ධ පස අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කළ යුතුය. එසේ කරන අනාගාමී පුද්ගලයාගේ සන්තානයෙහි සතරවන වරට ද නිවණ අරමුණු කෙරෙමින් මාර්ගාඞ්ග ධර්ම අට මහා බලයෙන් යුක්තව ඒකක්ෂණයෙහි පහළ වේ. එය අර්හත්මාර්ගය ය. එය පහළ වූ කල්හි අනාගාමී මාර්ගයෙන් අප්‍ර‍හීණව ඉතිරිව තිබූ සකල ක්ලේශයෝ ම මතු නූපදනා පරිදි නිරවශේෂයෙන් දුරු වෙති. අර්හත්වය බුදුසසුනෙහි පිළිවෙත් පිරීමේ අවසානය ය.

“යාවතා භික්ඛවෙ සත්තාවාසා යාවතා භවග්ගං ඒතේ අග්ගා ඒතේ සෙට්ඨා ලෝකස්මිං යදිදං අරහන්තෝ”

යනුවෙන් “සකලක්ලේශයන් ප්‍ර‍හාණය කොට ශාසන බ්‍ර‍හ්මචරියාව නිම කළ යම් රහත්හු වෙත් ද ඔවුහු භවාග්‍ර‍ය දක්වා ලෝකයෙහි අග්‍ර‍පුද්ගලයෝ ය. ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ය” යි භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේ ය.

රහතන් වහන්සේ

සෘධිප්‍රාතිහාර්ය්‍ය කිරීමෙහි සමත් ඇතැම් අභිඥාලාභී රහතන් වහන්සේලාගේ පුවත් ඇසූ බොහෝ බෞද්ධයෝ අර්හත්වය නම් අහසින් යාම, නො පෙනී යාම, අනුන්ගේ සිත් දැනීම යනාදි පුදුම දේ කළ හැකි, සිතූ දේ කළ හැකි තත්ත්වයකැයි වරදවා පිළිගෙන සිටිති. රහතන් වහන්සේලා අතර සෘධිප්‍රාතිහාර්ය්‍ය කිරීමෙහි සමත් වූ බව සත්‍යයෙකි. එහෙත් සියලු රහතන් වහ්සේ ම ප්‍රාතිහාර්යය කිරීමෙහි සමත්හු නො වෙති. බුදුසස්නෙහි රහත් වූ බොහෝ දෙනා සෘධිප්‍රාතිහාර්ය්‍ය නැති ශුෂ්ක විදර්ශකයෝ ය. සෘධිප්‍රාතිහාර්ය්‍ය කළ හැකි බව අර්හත්වයේ අඞ්ගයක් නොවේ. අර්හත්වය ලෝකෝත්තර තත්ත්වයකි. සෘධිප්‍රාතිහාර්ය්‍ය රහතුන් විසින් කරනු ලබන්නේ ද අර්හත්වයේ අනුහසින් නොව ලෞකික ධ්‍යාන බලයෙනි. ධ්‍යානලාභී පෘථග්ජනයෝ ද සෘධිප්‍රාතිහාර්ය්‍ය කිරීමට සමත් වෙති. අර්හත්වය කුමක්දැ යි ජම්බුවාද පිරිවැජි සැරියුත් මහතෙරුන් වහන්සේගෙන් විචාළ කල්හි උන් වහන්සේ ඔහුට පිළිතුරු දුන්නේ “යෝ ඛෝ ආවුසේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං වුච්චති අරහත්තං” යි “ඇවැත්නි, යම් රාගක්ෂයයක් ද්වේෂක්ෂයයක් මෝහක්ෂයයක් වේ ද රය අර්හත්වය”යි කියනු ලැබේ ය කියා ය. එයින් දැක්වෙන්නේ රාග ද්වේෂ මෝහයන් ක්ෂය කළ තැනැත්තා රහතුන් වහන්සේ බව ය. ඛන්ධවග්ග සංයුත්තයේ සූත්‍ර‍යක රහතන් වහන්සේ හඳුන්වා ඇත්තේ මෙසේ ය.

1. සුඛිනෝ වත අරහන්තෝ

තණ්හා තේසං න විජ්ජති,

අස්මිමානෝ සමුච්ඡින්නෝ

මෝහජාලං පදාලිතං.

.

2. අනේජං තේ අනුප්පත්තා

චිත්තං තේසං අනාවිලං,

ලෝකේ අනුපලිත්තා තේ

බ්‍ර‍හ්මභූතා අනාසවා.

.

3. පඤ්චක්ඛන්ධෙ පරිඤ්ඤාය

සත්ත සද්ධම්ම ගෝචරා,

පසංසියා සප්පුරිසා

පුත්තා බුද්ධස්ස ඕරසා.

.

4. සත්තරතන සම්පන්නා

තීසු සික්ඛාසු සික්ඛිතා

අනුවිචරන්ති මහාවීරා

පහීණ භය භේරවා.

.

5. දසහඞ්ගේහි සම්පන්නා

මහානාගා සමාහිතා

ඒතේ ඛෝ සෙට්ඨා ලෝකස්මිං

තණ්හා තේසං න විජ්ජති.

.

6. අසේඛඤාණං උප්පන්නං

අන්තිමෝයං සමුස්සයෝ

යෝ සාරෝ බ්‍ර‍හ්මචරියස්ස

තස්මිං අපරපච්චයා.

.

7. විධාසු න විකම්පන්ති

විප්පමුත්තා පුනබ්භවා

දන්තභූමිං අනුප්පත්තා

තේ ලෝකේ විජිතාවිනො.

.

8. උද්ධං තිරියං අපාචීනං

නන්දි තේසං න විජ්ජති

නදන්ති තේ සීහනාදං

බුද්ධා ලෝකේ අනුත්තරා.

(ඛන්ධකවග්ග සංයුත්ත)

ගාථාවල තේරුම:-

  1. රහත්හු ඒකාන්තයෙන් සැප ඇත්තෝ ය. ඔවුනට අපාය දුඃඛය ඇති කරන තණ්හාව ඇත. නව වැදෑරුම් මානය ඔවුන් විසින් නසන ලද්දේ ය. අවිද්‍යා නමැති දැල පලන ලද්දේ ය.
  2. ඔවුහු ඒජා සංඛ්‍යාත තණ්හාව නැති අර්හත්වයට පැමිණියෝ ය. ඔවුන්ගේ සිත නො කැළඹුණේ ය. ඔවුහු තෘෂ්ණා දෘෂ්ටි ලාටුයෙන් ලෝකයෙහි නො ඇලුණෝ ය. ලෝකයෙහි ශ්‍රේෂ්ඨ වූවෝ ය. කාමාදි ආශ්‍ර‍ව රහිතයෝ ය.
  3. රූපාදි ස්කන්ධයන් පිරිසිඳ දැන සප්තවිධ සද්ධර්‍මය ගොදුරු කොට ඇත්තෝ ය. ප්‍ර‍ශංසා කළ යුත්තෝ ය. සත්පුරුෂයෝ ය. බුදුරදුන්ගේ ඖරස පුත්‍රයෝ ය.
  4. සප්තබෝධ්‍යඞ්ග රත්නයන් ඇත්තෝ ය. අධිශීල අධිචිත්ත අධිප්‍ර‍ඥා සංඛ්‍යාත ත්‍රි ශික්ෂාවෙහි හික්මුණෝ ය. ඒ මහා වීරයෝ කුඩා මහත් භයින් තොරව ලෝකයෙහි හැසිරෙති.
  5. අඞ්ග දශයකින් යුක්ත වූ උපචාරාර්පණා සමාධි ඇත්තා වූ මහානාගයන් වූ ඔවුහු ලෝකයෙහි ශ්‍රේෂ්ඨයෝ ය. ඔවුනට තණ්හාව නැත්තේ ය.
  6. ඔවුනට අර්හත් ඵලඥානය උපන්නේ ය. මේ ඔවුන්ගේ අන්තිම ආත්මභාවය ය. ශාසනප්‍ර‍තිපත්තියෙහි සාරය වූ අර්හත්ඵලය තමන් විසින් ම ප්‍ර‍ත්‍යක්ෂ කර ඇති බැවින් ඒ සඳහා අනුන් කෙරෙහි විශ්වාසයක් තබා ක්‍රියා කිරීමක් නැත්තෝ ය.
  7. ඒ රහත්හු මානය කරණ කොට සැලීමක් නැත්තෝ ය. පුනර්භවයෙන් මිදුණෝ ය. දන්තභූමිය යි කියනු ලබන අර්හත්වයට පැමිණියෝ ය. රාගාදි ක්ලේශයන් පරදවා සිටින්නෝ ය.
  8. උඩ යට මැද යන සෑම තන්හි තණ්හාවක් ඒ රහතුන්ට නැත්තේ ය. චතුස්සත්‍යය අවබෝධ කළ හෙයින් බුද්ධ නම් වූ ලෝකයෙහි තමන්ට උසස් කෙනකුන් නැත්තා වූ ඒ රහත්හු අභීතනාද සංඛ්‍යාත සිංහනාදය පවත්වත්.

බොහෝ රහත්ගුණ දැක්වෙන මේ ගාථාවල සෘධි ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමෙහි සමත් බව රහත් ගුණයක් ලෙස දක්වා නැත්තේ ය.

භාවනා ක්‍ර‍ම දෙක

සමථපූර්වාංගම විදර්ශනා භාවනාවය, විදර්ශනා පූර්වාංගම සමථ භාවනාවය යි භාවනා ක්‍ර‍ම දෙකක් ඇති බව මජ්ඣිම නිකායේ ධම්මදායාද සූත්‍ර‍ අටුවාවෙහි පැහැදිලි කර ඇත්තේ ය. සමථ පූර්වාංගම විදර්ශනා භාවනා ක්‍ර‍මය යනු ආනාපන කසිණාදි භාවනාවක් කොට උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය හෝ උපදවා පසුව විදර්ශනා භාවනාව කොට මඟපල ලබා ගැනීම ය. ඒ ක්‍ර‍මයෙන් භාවනා කරන යෝගාවචරයෝ සමථයානික නම් වෙති. ආනාපානාදි භාවනාවන්හි නො යෙදී විදර්ශනා භාවනාව ම කොට එයින් ම සමාධිය ලබා මඟපල ලැබීමේ භාවනා ක්‍ර‍මය විදර්ශනා පූර්වාංගම ශමථ භාවනා ක්‍ර‍මය ය. මේ ක්‍ර‍මයෙන් භාවනා කරන්නෝ විදර්ශනායානික නම් වෙත්. ශුෂ්ක විදර්ශක යනු ද ඔවුනට ව්‍යවහාර කරන තවත් නමෙකි. සෑම දෙන මඟපල ලැබිය යුත්තේ කියන ලද භාවනා ක්‍ර‍ම දෙකින් එකකිනි. එයට තුන්වන ක්‍ර‍මයක් නැත. ඒ භාවනා ක්‍ර‍ම දෙකින් සමථ පූර්වාංගම භාවනා ක්‍ර‍මය නිවන් ලැබීමේ දික් මඟ ය. විදර්ශනා පූර්වාංගම භාවනා ක්‍ර‍මය නිවන් ලැබීමේ කෙටි මඟ ය.

මෙකල ඇතැම් අනුශාසකයෝ ‘කලින් සමථ භාවනාවක යෙදී සමාධියක් උපදවාගෙන මිස විදර්ශනා භාවනාවෙහි යෙදීමෙන් පලක් නැත ය’ යි අනුශාසනය කරමින් බුද්ධෝත්පාද කාලයකදී පමණක් කරන්නට අසන්නට ලැබෙන විදර්ශනා භාවනා මාර්ගය මහජනයාට අවුරති. ඔවුන්ගේ අනුශාසනා ගරු කොට සලකන බොහෝ දෙන බුදු සස්නෙන් ලැබිය යුතු උතුම් දෙය වන විදර්ශනා භාවනාවෙන් පිරිහෙති. සමථ භාවනාවක් කොට ධ්‍යානයක් ඉපදීම ලෙහෙසි කරුණක් නො වේ. නොයෙක් ජාතිවල ධ්‍යාන උපදවා ඒ ගැන පලපුරුද්ද ඇති මහ බෝසතුන් හා තවත් එවැනි අය අතීතයෙහි ධ්‍යාන උපදවා ඇත්තේ අඹුදරුවන් හැර, ධනය හැර, වනගතව පැවිදිව මුළු කාලය ම ඒ සඳහා යොදා භාවනා කිරීමෙනි. ධ්‍යාන ඉපිදවීමේ දුෂ්කරත්වය විශුඬිමාර්ගයෙහි මෙසේ දක්වා ඇත්තේ ය.

“ආදිකම්මිකස්ස හි කසිණපරිකම්මම්පි භාරෝ, සතේසු සහස්සේසු වා ඒකෝව සක්කෝති, කතකසිණ පරිකම්මස්ස නිමිත්තුප්පාදං භාරෝ, සතේසු සහස්සේසු වා ඒකෝව සක්කෝති. උප්පන්නේ නිමිත්තේ තං වඩ්ඪෙත්වා අප්පණාධිගමෝ භාරෝ, සතේස් සහස්සේසු වා ඒකෝව සක්කෝති.”

“මුලින් භාවනා කරන යෝගාවචරයා හට දෝෂයන් දුරු කොට සුදුසු පරිදි කසිණ භාවනාව කිරීම වුව ද බරෙකි. සියයකින් දහසකින් එකෙක් පමණක් එය සුදුසු සේ කිරීමට සමත් වෙයි. සුදුසු පරිදි භාවනා කරන්නහුට වුව ද නිමිත්ත උපදවා ගැනීම බරෙකි. සියයකින් දහසකින් එකෙක් පමණක් එය කර ගැනීමට සමත් වෙයි. නිමිත්ත උපන් කල්හි ද එය වඩා ධ්‍යානය උපදවා ගැනීම බරෙකි. සියයකින් දහසකින් එකෙක් පමණක් එය කර ගැනීමට සමත් වේය.” යනු ඉහත දැක්වූ පාඨයේ තේරුම ය. ධ්‍යාන ඉපදවීම අතිදුෂ්කර බැවින් සමථය වඩා ධ්‍යාන උපදවා විදර්ශනා වඩන්නට බලාපොරොත්තු වුවහොත් දහසකින් දස දහසකින් එකකුටවත් එය සිදු කරන්නට නො ලැබෙනු ඇත. මෙකල මසකට වරක් දෙකක් පොහෝ දිනවල සිල් සමාදන් වී මඳ වෙලාවක් භාවනා කරන්නවුන්ගෙන් ලක්ෂයකින් එකකුවත් ධ්‍යානයක් ලැබුව හොත් එය මහ පුදුමයෙකි. ඔවුනට විදර්ශනා භාවනාවක යෙදෙන්නට නො ලැබීම, ජීවිත කාලය අවසන් වනු ඇත.

බෞද්ධ කවුරුන් විසිනුත් මෛත්‍රී භාවනාදි සමථ භාවනාවල යෙදිය යුතු ය. එහෙත් බුදු සස්න පවත්නා මේ කාලයේදී විදර්ශනා භාවනාව නො හළ යුතු ය. බුදුසස්නෙන් ලැබිය යුතු උසස් ඵල ලැබීමට නම් විදර්ශනා භාවනාව කළ යුතු ම ය. බුදුසස්නේ සාරය විදර්ශනා හා මාර්ගඵලයෝ ය. එබැවින් තථාගතයන් වහන්සේ “ධ්‍යාන සමාධියෙන් පිරිහී එය නැවත ඇති කර ගැනීමට නො හැකි නිසා තමා බුදුසස්නෙන් පිරිහුනෙමි” යි තැවෙමින් සිටි අස්සජි නමැති භික්ෂුවට:-

“යේ තේ අස්සජි, සමණ බ්‍රාහ්මණා සමාධිසාරකා සමාධිසාමඤ්ඤා තේසං තං සමාධිං අප්පටිලභතං ඒවා හෝති, නෝචස්සු මයං පරිහායාමාති.”

(ඛන්ධකවග්ග සංයුත්ත)

යනු වදාළ සේක. “අස්සජි, යම් ඒ ශ්‍ර‍මණබ්‍රාහ්මණ කෙනෙක් සමාධිය සාරය කොට ඇත්තෝ ද, සමාධිය ශ්‍ර‍මණභාවය කොට ඇත්තෝ ද, සමාධිය නොලබන්නා වූ ඔවුනට අපි පිරිහුණාහු නො වෙම් දැයි සිතේ ය” යනු එහි තේරුම ය. භාග්‍යවතුන් වහන්සේ එසේ වදාරා මාගේ ශාසනයෙහි සාරය සමාධිය නො වේ ය යි විදර්ශනාව දේශනය කළ සේක. එය ඇසීමෙන් අස්සජි භික්ෂූන් වහන්සේ සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියහ.

අස්සජි භික්ෂුවට කලින් උපදවාගෙන සිටි ආනාපාන චතුර්ථධ්‍යානයෙන් ප්‍රයෝජනයක් නො වීය. උන්වහන්සේ රහත් වූයේ ශුෂ්කවිදර්ශකයකු වශයෙනි. බොහෝ සූත්‍ර‍වල ධ්‍යානාභිඥා උපදවා පසුව රහත්වීමේ ප්‍ර‍තිපත්ති ක්‍ර‍මයක් දක්වා ඇත ද සූත්‍ර‍ ධර්ම විමසා බැලීමේ දී පෙනෙන්නේ කමටහන් ලබා ගැනීම සඳහා බුදුරදුන් වෙත ගිය බොහෝ භික්ෂූන්ට උන් වහන්සේ විදර්ශනා භාවනාව ම වදාළ බවය. භාවනාව අසාගෙන ගිය ඒ භික්ෂූන් ද විදර්ශනාවෙන් ම රහත් වූ බව ය. මේ බුදු සස්නෙහි මඟපල ලැබුවන්ගෙන් ඉතා ටික දෙනෙකුන් හැර සෙස්සෝ ධ්‍යාන නො ලැබූ ශුෂ්ක විදර්ශකයෝ ය. සුසීම සූත්‍ර‍ය ඒ බවට හොඳ නිදසුනකි.

සුසීම පිරිවැජිගේ කථාව

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ විසූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂූහු මහජනයාගෙන් බොහෝ පූජාසත්කාර ලැබූහ. තීර්ථකයෝ මහජනයා විසින් නො සලකනු ලබන්නෝ වූහ. අල්ප ලාභීහු වූහ. එකල්හි මහ පිරිවැජි පිරිසක් ඇති සුසීම නම් පිරිවැජියෙක් රජගහ නුවර වාසය කළේ ය. බුදුන් වහන්සේ හා භික්ෂූන් වහන්සේ ලාභයෙන් අගතැන්පත්ව විසීමේත් තමන් මහජනයාගේ ගෞරවයට අහිමි වී අල්පලාභීව විසීමේත් හේතුව ගැන කල්පනා කළාවූ පිරිවැජියන්ට මේ අදහස පහළ විය. “ශ්‍ර‍මණ ගෞතමයන් ජනයාගේ ගෞරවයට භාජනය වී සිටින්නේ මහජනයා ඔවුන්ට මෙතරම් පූජා සත්කාර කරන්නේ ඔවුන්ගේ ජාති ගෝත්‍රාදිය සලකා ගෙන නොවේ. ඔහු ශ්‍රේෂ්ඨ කවියෙකි. ඔහු මිනිසුන්ගේ සිත් ගන්නා කවි බැඳ ඔහුගේ ශ්‍රාවකයන්ට උගන්වයි. ශ්‍රාවකයෝ ඒ කවි උගෙන තමන් වෙත පැමිණෙන අයට ඒවා කියති. ඒවායින් අනුමෝදනා කරති. දේශනා පවත්වති. ඒවා අසන ජනයෝ පැහැදී ඔවුනට පූජා සත්කාර කරති. අපත් ශ්‍ර‍මණගෞතමයන්ගේ කවි වලින් ටිකක් උගෙන අපේ ධර්මයට එකතු කොට මහජනයාට කියන්නට පටන් ගත හොත් ජනයා අප කෙරෙහි වඩා පහදිනවා ඇත. අපට බොහෝ පූජා සත්කාර කරනු ඇත.” මෙසේ කල්පනා කළා වූ පිරිවැජියෝ කවි උගෙන එනු පිණිස ඔවුන්ගෙන් එකකු බුදුරදුන් වෙත යැවීමට සාකච්ඡා කළහ. “සුසීම පිරිවැජි දක්ෂයෙකි. ඔහු ඉක්මනින් කවි උගෙන පෙළා ඒමට සමත් ය. ඒ නිසා ඔහු ශ්‍ර‍මණ ගෞතමයන් වෙත යවමු.” යි කතා කරගෙන ඒ බව සුසීමට දන්වා ඔහු බුදුන් වහන්සේ වෙත පිටත් කළහ. ඔහු බුදුන් වහන්සේ කරා කෙලින් ම යාමට බිය නිසා ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත ගොස්, පිළිසඳර කථා කොට තමා ද බුදු සස්නෙහි මහණදම් පිරීමට කැමති බව සැල කෙළේය.

ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඔහු කැඳවා ගෙන බුදු රදුන් වෙත එළඹ වැඳ එකත් පසෙක හිඳ “මේ සුසීම පිරිවැජි තෙමේ නුඹ වහන්සේගේ සස්නෙහි මහණදම් පුරන්නට කැමැත්තෙමියි කියන්නේය”යි සැල කෙළේ ය. “ආනන්දය, එසේ නම් සුසීම පැවිදි කරව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සුසීම පිරිවැජි තෙමේ බුදුසස්නෙහි පැවිද්ද හා උපසම්පදාව ලැබී ය.

එකල්හි බොහෝ භික්ෂූහු තමන් රහත් වූ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළෝ ය. සුසීම භික්ෂු තෙමේ අර්හත්වය ප්‍ර‍කාශ කළ භික්ෂූන් වෙත ගොස් පිළිසඳර කතා කොට “ඇවැත්නි, ඔබ වහන්සේලා විසින් බුදු රදුන් ඉදිරියේ අපට ඉපදීම කෙළවර විය. අපි විසින් ශාසන ප්‍ර‍තිපත්තිය පුරා නිම කරන ලද්දේ ය, කළ යුතු සියල්ල කරන ලද්දේ ය. අපට මතු කළ යුත්තක් නැත්තේ ය යි අර්හත්වය ප්‍ර‍කාශ කරන ලද බව සත්‍යයක් දැයි”යි කීය. ඒ භික්ෂූහු “එසේය”යි පිළිතුරු දුන්හ. “ඇවැත්නි, එසේ නම් ඔබ වහන්සේලා අනේකප්‍ර‍කාර සෘධිප්‍රාතිහාර්ය්‍යයන් කිරීමට සමත් වන්නහු ද? ඔබ වහන්සේලා බොහෝ දෙනකුන් වීමට හා බොහෝ දෙනකුන් සේ පෙනී සිට නැවත එකකුවීමට ද, නොපෙනී සිටීමට, බිත්ති පර්වත විනිවිද යාමට, පොළොවෙහි මෙන් අහසෙහි ගමන් කිරීමට, දිය මත ගමන් කිරීමට, හිර සඳ අත ගෑමට, බ්‍ර‍හ්ම ලෝකය දක්වා මේ ලෝකය තමාගේ වශයෙහි පැවැත්වීමට, දුර ශබ්ද ඇසීමට, දුර ඇති දෑ දැකීමට, දෙවියන් දැකීමට, අනුන්ගේ සිත් දැකීමට, පෙර ජාති සිහි කිරීමට, සත්ත්වයන් මැරී කර්මානුකූලව ඒ ඒ ජාතිවල උපදිනු දැකීමට, සමත් වන්නහු දැ”යි විචාළේ ය. “අපි සමත් නොවෙමු” යි භික්ෂූහු කීහ. “ඔබ වහන්සේලාට රූපයන් ඉක්මවා සිටින ශාන්ත අරූප සමාපත්ති හෝ ඇත්දැ”යි විචාළේ ය. භික්ෂූහු “නැතය”යි පැවසූහ. “ඇවැත්නි, එසේ නම් ඔබ වහන්සේලා බුදුරදුන් ඉදිරියෙහි ප්‍ර‍කාශ කළ අර්හත්වය කුමක්දැ”යි සුසීම භික්ෂුව ඇසී ය. “ඇවැත්නි, අපි ධ්‍යාන නැති ශුෂ්කවිදර්ශකයෝ ය, ප්‍ර‍ඥාවිමුක්තයෝ” යි ඒ භික්ෂූහු කීහ. එකල්හි සුසීම භික්ෂූ තෙමේ “ඇවැත්නි, නුඹ වහන්සේලාගේ කීම මට තේරුම් ගත නොහැකි ය, එය විස්තර කර දෙනු මැනව”යි කීය. “සුසීමය, ඔබට තේරුම් ගත හැකි වුවත් නො හැකි වුවත් අපි ප්‍ර‍ඥාවිමුක්තයෝය”යි ඒ භික්ෂූහු කීහ.

සුසීම භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් ඒ භික්ෂූන් හා ඇති වූ කථාව උන් වහන්සේට සැල කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “පුබ්බේ ඛෝ සුසීම ධම්මට්ඨිති ඤාණං, පච්ඡා නිබ්බානෙ ඤාණං” යනුවෙන් “සුසීමය, පළමුව විදර්ශනාඥානය ඇති වන්නේ ය. පසුව නිවන් දක්නා වූ ලෝකෝත්තර මාර්ගඥානය ඇති වන්නේය”යි වදාළහ.

තමාට එය නො තේරෙන්නේය කියා විස්තර කර දෙන ලෙස සුසීම භික්ෂුව ඇයැද සිටි කල්හි, භාග්‍යවතුන් වහන්සේ සුසීමගෙන් ප්‍ර‍ශ්න කරමින් පඤ්චස්කන්ධයේ අනිත්‍යාදි ලක්ෂණයන් දක්වමින් ඔහුට ධර්ම දේශනය කළ සේක. ධර්ම දේශනාවසානයෙහි සුසීම භික්ෂු තෙමේ ද සව්කෙලෙසුන් නසා ශුෂ්ක විදර්ශකයකු වශයෙන් අර්හත්වයට පැමිණියේ ය. සුසීම භික්ෂුවට ධ්‍යාන සමාධියක් නො තිබිණ.

“මග්ගෝ වා හි ඵලං වා න සමාධි නිස්සන්දෝ, න සමාධි ආනිසංසෝ, න සමාධිස්ස නිප්ඵත්ති, විපස්සනාය පන සෝ නිස්සන්දෝ, විපස්සනාය ආනිසංසෝ, විපස්සනාය නිප්ඵත්ති.”

(සුසීම සුත්තට්ඨ කථා)

මාර්ගය හෝ ඵලය සමාධියේ ඵලයක් නො වේ. සමාධියේ අනුසසක් නො වේ. සමාධියේ නිපදවීමක් නො වේ, එය වනාහි විදර්ශනාවේ ඵලයෙකි. විදර්ශනාවේ අනුසසෙකි. විදර්ශනාවේ නිපදවීමකිය” යනු අටුවා පාඨයේ තේරුම ය.

පසුව ධර්මය සොරා ගැනීමට තමා පැවිදිවීම ගැන සුසීම භික්ෂු තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව අයැදී ය. නිදානවග්ග සංයුත්තයේ මහාවග්ගයේ එන මේ සුසීම සූත්‍රයෙන් බුදුරදුන් සමයෙහි විසූ බොහෝ රහතුන් ධ්‍යාන නැති ශුෂ්ක විදර්ශකයන් බව පැහැදිලි වේ. කරුණු මෙසේ හෙයින් ‘ධ්‍යාන නො වඩා විදර්ශනාව පමණක් වඩා මඟපල නො ලැබිය හැකිය’ යන මෙය වැරදි මතයක් බව දත යුතු ය.

යෝගාවචරයන්ට බාධා කරන නීවරණයෝ

සත්ත්වයා ගේ සිත කිලිටි කරන නුවණැස අඳුරු කරන, අන්ධ කරන, නිවන් මඟට බසින්නට නො දී සත්ත්වයන් පඤ්චකාම නමැති මඩ ගොහොරුවෙහි ගිල්වා තබන, සසර දික් කරන, නිවන්මඟට බට පුද්ගලයන් ගේ ඉදිරි ගමනට බාධා කරන, නිවන්මඟ අවුරන, සමහර විට නිවන් මඟට බට පුද්ගලයන් ආපසු හරවා නැවතත් පඤ්චකාම නමැති මඩ වළට ම හෙළන නීවරණ නාමයෙන් හඳුන්වන ධර්ම පසක් ඇත්තේ ය. නිවන් සොයන යෝගාවචරයන් විසින් ඒ ධර්ම දැන සිටිය යුතු ය.

ඒ ධර්මයෝ සාමාන්‍යයෙන් සකල සත්ත්වයන්ගේ ම සතුරෝ ය. විශේෂයෙන් යෝගාවචරයන් ගේ සතුරෝ ය. පිටතින් එන සතුරාගෙන් ගැලවීම පහසුය. නීවරණයෝ යෝගාවචරයන් කෙරෙහි ම හට ගෙන, ඔවුන් තුළ ම වැඩී, ඔවුනට අනර්ථ කරන සතුරෝ ය. එ බැවින් ඔවුන්ගෙන් ගැලවීම දුෂ්කර ය. සතුරකු සේ පෙනී සිටින සතුරාගෙන් ගැලවීම පහසු ය. මිත්‍ර‍ රූපයෙන් පෙනී සිටින සතුරාගෙන් ගැලවීම දුෂ්කර ය. නීවරණයෝ මිත්‍ර‍ රූපයෙන් එන සතුරෝ ය. එ බැවින් යෝගාවචරයන්ට ඔවුන්ගෙන් ගැලවීම දුෂ්කර ය. යෝගාවචරයන් නීවරණයන්ට වසඟ වී බෙහෙවින් පිරිහෙන්නේ මිත්‍ර‍රූපයෙන් එන නීවරණයන් හැඳින ගත නො හැකි වීම නිසා ය. ගෙයකට මිත්‍ර‍ රූපයෙන් පැමිණි සතුරා ගෙහිමියා හැඳින ගත හොත් එයින් ම ඔහු බිය වී පලා යන්නේ ය. එ මෙන් සන්තානයෙහි හටගත් නීවරණය, යෝගාවචරයා තමා ගේ සතුරකු බව තේරුම් ගතහොත් හැඳින ගතහොත් එයින් ම ද ඒ නීවරණය දුරු වන්නේ ය. යෝගාවචරයා නීවරණය හැඳින ගත නොහී එය පිළිගත හොත් ඒ නීවරණය සම්බන්ධයෙන් යෝගාවචරයාට සක්කාය දෘෂ්ටිය ඇති විය හැකි ය. තණ්හාව ඇති විය හැකි ය. සම්මෝහය ඇති විය හැකි ය. එයින් උපන් නීවරණය පඳුරු ලා වැඩෙන්නේ ය. යෝගාවචරයා එයට වසඟ වී නිවන් මඟ පසු බසින්නේ ය. සමහර විට භාවනාව සම්පූර්ණයෙන් ම හැර නිවන් මඟින් ඉවත්ව පඤ්චකාම නමැති මඩ වළට ම බසින්නේ ය.

පොතපතින් හෝ ඇසීමෙන් හෝ නීවරණයන්ගේ නම් දැන සිටි පමණින් හෝ තමා තුළ හට ගන්නා නීවරණයන් හැඳින ගත නො හේ. නොයෙක් ආකාරයෙන් පහළ වන නීවරණයන් හැඳින ගැනීම අතිදුෂ්කරය. සසර දුකින් මිදීම පිණිස ගිහිගෙය හැර, නෑයන් හැර, ධනය හැර, නිවන් මඟට බැසීමක් වශයෙන් පැවිදි වන පින්වතුන්ගෙන් ඇතැම්හු ඔවුන් තුළ නැඟී ආ නීවරණයන් විසින් නැවත ගිහිගෙට යවනු ලබති. එහෙත් ඔවුහු තමන්ට ගිහිවන්නට සිදු වූයේ තමන් තුළ හටගත් නීවරණයන් නිසා බව නො දනිති. සිවුරු හැර යාමේ හේතුව ඔවුන්ගෙන් විමසුවහොත් ඔවුන් සිවුරු හැරීමේ හේතුව වශයෙන් කියන්නේ අන් කරුණෙකි. එසේ කියන්නේ ඔවුහු තමන් තුළ හට ගන්නා නීවරණ හැඳින ගැනීමට අපොහොසත් නිසා ය. ඇතැම් ගිහි පින්වත්හු සසර කලකිරී නිවන් ලබනු රිසියෙන් සිල් රැකීමට, භාවනා කිරීමට පටන් ගනිති. භාවනාවෙහි යෙදීම් වශයෙන් නිවන් මඟට බැස සිටින ඒ උපාසකෝපාසිකාවෝ සමහර විට නීවරණයන් විසින් බාධා කිරීම නිසා කරගෙන ගිය ශීලසමාදානය හා භාවනාව අත්හරිති. එහෙත් ඔවුහු නීවරණයන් මඟ හරස් කිරීම නිසා තමන් නිවන් මඟින් ඉවත් වූ බව නො දනිති. “දැන් සිල් සමාදන් නො වන්නේ, භාවනා නො කරන්නේ කුමක් නිසා දැ” යි ඔවුන්ගෙන් ඇසුවහොත් ඔවුන් කියන්නේ නීවරණයන් නිසා ඒවා හළ බව නොව අනික් කරුණකි. එසේ කියන්නේ නීවරණයන් ඇති වීම ඔවුනට නොදැනුණු නිසා ය.

නීවරණයන් ගැන දැනීම නැති, ස්වසන්තානයෙහි පහළ වන නීවරණයන් හැඳින ගැනීමට නො සමත් යෝගාවචරයකුට භාවනාවෙහි යෙදී විදර්ශනා ඥානය දියුණු කොට මඟඵල ලැබිය නො හැකි ය. සමාධිය වඩා ලෞකික ධ්‍යානයක් වුව ද නො ලැබිය හැකි ය. මෙකල ආරණ්‍ය සේනාසනවල හා භාවනා මධ්‍යස්ථානවලත් තවත් තැන්වලත් භාවනා කරන්නෝ බොහෝ ඇතහ. ඔවුන් අතර භාවනාවෙන් දියුණුවක් ලත් අය එතරම් දක්නට නැත්තේ නීවරණයන්ගෙන් කැරෙන බාධාව නිසා ය. භාවනා කොට දියුණුවක් ලැබිය හැකි වීමට නම්, නැඟ එන නීවරණයන් දුරු කර ගැනීමේ ශක්තියක් යෝගාවචරයාට තිබිය යුතු ය. තමා තුළ නැඟ එන නීවරණයන් හඳුනා ගැනීමේ ශක්තියක් නැති යෝගාවචරයා හට කිසි කලෙක නීවරණයන් පැරදිය නො හැකිය. ඔහු නීවරණයන් විසින් පරදවනු ලැබ භාවනාවෙන් හෝ ඉවත් වෙයි. භාවනාව නො හළේ ද දියුණුවක් නො ලබයා සැමදා ම එක තත්ත්වයේ ම හෝ සිටී. සමාධිය හා විදර්ශනා ඥානය දියුණු කරගත හැකි වීමට තමන් තුළ පහළ වන නීවරණයන් තේරුම් ගත හැකි ශක්තිය ඇති කර ගත යුතු ය. පොත පත කියැවීමෙන් හා ඇසීමෙන් නීවරණයන් ගැන ලබා ඇති දැනුමෙන් පමණක් තමා තුළ පහළ වන නීවරණයන් තේරුම් ගත නො හැකි ය. තමා ගේ සිත ගැනත්, තමා කෙරෙහි පහළවන කාමච්ඡන්දාදීන් ගැනත්, විමසිල්ලෙන් සිට ඒ දැනුම ඇති කර ගත යුතු ය.

කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය කියා නීවරණ ධර්ම පසක් ඇත්තේ ය.

කාමච්ඡන්ද නීවරණය

කාමවස්තූන් සම්බන්ධයෙන් ඇති වන ආශාව කාමච්ඡන්දය ය. ඕනෑකම, ලෝභය, රාගය, ආලය, ආදරය, ප්‍රේමය, තණ්හාව යන නම් වලින් කියැවෙන්නේ ද ඒ ආශාව ය. කාමවස්තූහු බොහෝ ය. සිත කය දෙකට ඇති වන සැපය ප්‍ර‍ධාන කාමවස්තූන් ය. ඒ සැපයට හේතු වන සියලු වස්තූහු ද කාමවස්තූහු ය.

අඹුවෝය, සැමියෝය, දූ දරුවෝය, මා පියෝය, සහෝදර සහෝදරියෝය, නෑයෝය, මිතුරෝය, දැකීමට ආශ්‍ර‍ය කිරීමට කැමති වන අන්‍ය ස්ත්‍රීපුරුෂයෝය, රජවරු සිටුවරු සෙන්පතිවරු අගමැතිවරු ඇමතිවරු ජනාධිපතිවරු ආදී උසස් පුද්ගලයෝ ය. මිනිසුන්ට ප්‍රයෝජනවත් ගවාදි සත්ත්වයෝය, වනසත්තුය, ජලයේ ජීවත්වන සත්තු ය යන මේ සියල්ල ම කාමවස්තූහු ය.

යාම - ඊම - බැලීම - සිනාව - කථාව - නැටුම - ගැයුම - ක්‍රීඩාව යනාදි සත්ත්ව ක්‍රියාවෝ ද කාමවස්තූහු ය.

ඉර සඳ තාරකා කඳු හෙල් ඇළ දොළ ගංගා විල් වැව් පොකුණු මුහුදු ගස් වැල් කැලෑ රන් රිදී මුතු මැණික් දිය ගිනි සුළං ආලෝක අන්ධකාර ශීතෝෂ්ණ ආදි ස්වභාවික වස්තූහු ය, ආහාරපාන ඇඳුම් පැළඳුම් ගෙවල් රථ ඇඳ පුටු මේස භාජන හා මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය පිණිස තනා ඇති සියලු වස්තූහු ය යන මේ සියල්ලෝ ම කාම වස්තූහු ය.

උපාධි තනතුරු ගරුබුහුමන් කීර්ති ප්‍ර‍ශංසා විද්‍යා ශිල්ප ශාස්ත්‍ර‍ යන මේවා ද කාමවස්තූහු ය.

විහාර දාගැබ් බෝධිවෘක්ෂ බුද්ධරූප අරහන්තරූප බෝධිසත්ත්වරූප දේවරූප සර්වඥධාතු අරහන්තධාතු බණපොත් පාත්‍ර‍ සිවුරු වටාපත් යන ආගමික වස්තූහු ද කාමවස්තූහු ය.

කාමවස්තූන්ගෙන් සම්පූර්ණයෙන් වෙන්ව සාමාන්‍ය මිනිසුන්ට තබා යෝගීන්ට ද වාසය කළ නො හැකි ය. එබැවින් නීවරණයන් අතුරින් බෙහෙවින් ඇති වන නීවරණයත්, යෝගීන්ට වඩා බාධා කරන නීවරණයත් කාමච්ඡන්ද නීවරණය ය.

කාමවස්තූන් අනුව ඇතිවන කාමච්ඡන්දයෝ ද බොහෝ ය. දැකීමට කැමති වන අඹුදරු නෑ මිතුරන් දැකීමේ ආශාව, රජුන් ඇමතිවරුන් ආදී උසස් පුද්ගලයන් දැකීමේ ආශාව, විශේෂ පුද්ගලයන් දැකීමේ ආශාව, ශෝභන ස්ත්‍රීපුරුෂයන් දැකීමේ ආශාව, ක්‍රීඩා-නැටුම් දැකීමේ ආශාව, පෙරහැර දැකීමේ ආශාව, ජනසන්නිපාත දැකීමේ ආශාව, නගර ග්‍රාම කෙත්වතු කඳු කැලෑ ඇළ දොළ ගංගා විල් වැව් පොකුණු හා නොයෙක් සතුන් දැකීමේ ආශාව, ලස්සන ගොඩනැගිලි ආදී වස්තූන් දැකීමේ ආශාව, කෙත් වතු ගෙවල් මුදල් ආදි කාමවස්තූන් ලබා ගැනීමේ ආශාව, ලබාගත් කාම වස්තූන් දියුණු කිරීමේ පරෙස්සම් කිරීමේ ආශාව, දූදරුවන් සුරතල් කිරීමේ ආශාව, ඔවුන් හා එක්ව විසීමේ ආශාව, ඔවුන් වැළඳගැනීමේ ආශාව, ඔවුන්ගේ බොළඳ බස් බොළඳ සිනා ඇසීමේ ආශාව, නොයෙක් මිහිරි ශබ්දයන් ඇසීමේ ආශාව, මිහිරි ගන්ධයන් ආඝ්‍රාණය කිරීමේ ආශාව, අඹුවන් දරුවන් සිප ගැනීමේ ආශාව, දරුවන් දියුණු කිරීමේ ආශාව, ප්‍ර‍ණීත ආහාරපානයන් වැළඳීමේ ආශාව, වස්ත්‍රාභරණ වලින් කය සරසා ගැනීමේ ආශාව, අඹුදරුවන් සැරසීමේ ආශාව, වාසස්ථානය සැරසීමේ ආශාව, සැප ගෙන දෙන ඇඳ පුටු ආදියෙහි විසීමේ ආශාව, ඇතැම් අයගේ ශරීරස්පර්ශය ලැබීමේ ආශාව, හොඳ වාහන වලින් ගමන් කිරීමේ ආශාව, මඞ්ගලෝත්සවාදියට සහභාගී වීමේ ආශාව, උත්සව පැවැත්වීමේ ආශාව, ශිල්ප ශාස්ත්‍ර‍ උගෙනීමේ ආශාව, උපාධි ලැබීමේ ආශාව, තනතුරු ලැබීමේ ආශාව, ගරු බුහුමන් ලැබීමේ ආශාව, ස්තුති ප්‍ර‍ශංසා ලැබීමේ ආශාව යන මේවා මිනිසුන්ට ඇතිවන කාමච්ඡන්දයන්ගෙන් සමහරෙකි.

කාමච්ඡන්දයන් බොහෝ ඇති නුමුත් ඒ සියල්ල එක් අයෙකුට ඇති වන්නේ නො වේ. ගිහියන්ට ඇතිවන කාමච්ඡන්ද, පැවිද්දන්ට ඇතිවන කාමච්ඡන්ද, ගිහියන්ගෙන්ද-බාලයන්ට ඇතිවන කාමච්ඡන්ද, තරුණයන්ට ඇතිවන කාමච්ඡන්ද, මහල්ලන්ට ඇතිවන කාමච්චන්ද, උගතුන්ට ඇතිවන කාමච්ඡන්ද, පොහොසතුන්ට ඇතිවන කාමච්ඡන්ද, දුප්පතුන්ට ඇතිවන කාමච්ඡන්ද, පැවිද්දන්ගෙන් ද, - පන්සල්වල පැවිද්දන්ට ඇතිවන කාමච්ඡන්ද, ආරණ්‍යයේ පැවිද්දන්ට ඇතිවන කාමච්ඡන්ද වෙන වෙන ම ඇත්තේ ය. වෙනසක් නැතිව සැමට ම ඇතිවන කාමච්ඡන්ද ඇත්තේ ය.

ධනය රැස් කර ගෙන අඹුදරුවන් ඇති කර ගෙන ඔවුන් හා පස්කම් සැප විඳිමින් විසීමේ ආශාව ගිහියන්ට ඇති වන මහා කාමච්ඡන්දය ය. අවිද්‍යාවෙන් හා කාමච්ඡන්දයෙන් නුවණැස අන්ධ වූ ඒ පුද්ගලයා සිතන්නේ තමාට කරන්නට ඇති උසස් ම දෙය කම් සැප විඳීමය කියා ය. එයින් ඔහුට නිවන් මඟ වැසේ. අපාය මාර්‍ගය විවෘත වේ. පස්කම් සැප විඳීමෙන් ඒ සඳහා ධනය සැපයීමේත් අඹුදරුවන් පෝෂණය කිරීමේත් යෙදීම අපාය මාර්ගයේ ගමන් කිරීම ය. කිසි කුශල ක්‍රියාවක නො යෙදී, පව්කම්වල යෙදුණා වූ ඒ පුද්ගල තෙමේ ඉහත කී කාමච්ඡන්දය නිසා මරණින් මතු අපායට ද පැමිණේ. ඇතැමෙක් වර්තමාන ජීවිතයේ දී හැකි තාක් කම්සැප විඳ මරණින් මතු දිව්‍යමය කාමසම්පත් විඳීමට ද බලාපොරොත්තු වී ධන සැපයීම් ආදියෙහි යෙදෙන අතර දානාදි පින්කම්වල ද යෙදෙති. සසර කොට කර ගැනීම සඳහා ශීල භාවනා ව්‍යාපාරයන්හි නො යෙදෙති. ඒ කාමච්ඡන්දයෙන් ඔවුනට නිවන් මඟ වැසී සංසාර මාර්ගය විවෘත වේ.

ඇතැම් පින්වත්හු ආර්යධර්මය අසන්නට ලැබී ආර්යධර්මය දත් සත්පුරුෂයන් ඇසුරු කරන්නට ලැබී සංසාරයේ නපුර හා නිවනෙහි අගය තේරුම් ගෙන සසර දුකින් මිදීමේ අටියෙන් නිවන් මඟට බැසීමක් වශයෙන් ශීලභාවනාවන්හි යෙදෙති. ඒ පින්වතුන් කෙරෙහි ද මේ කාමච්ඡන්ද නීවරණය නැඟ අවුත් ඔවුන් භාවනාවෙන් පහකොට සමහරවිට දූදරුවන්ගේ කටයුතුවල යොදවයි. සමහරවිට සහෝදර සහෝදරියන්ගේ කටයුතුවල යොදවයි. සමහරවිට නෑයන්ගේ මිතුරන්ගේ කටයුතුවල, සමහරවිට තමන්ගේ ම කෙත්වතු ආදියේ කටයුතුවල යොදවයි. කාමච්ඡන්දයෙන් කෙරෙන බාධාව නිසා ඔවුන්ගේ භාවනාව කඩවෙයි. එයින් ඔවුනට සමාධි දියුණුවක් හෝ විදර්ශනා දියුණුවක් නො ලැබේ. සමහරවිට තරමක් දියුණු වී තුබූ සමාධිය පිරිහෙයි. විදර්ශනා ඥානය පිරිහෙයි. සමහරවිට ඒ කාමච්ඡන්දය ඔවුන් තුළ කුශලච්ඡන්ද රූපයෙන් ද ඇති වේ. කුශලච්ඡන්ද රූපයෙන් ඇති වූ කාමච්ඡන්දයෙන් මෙහෙයන ලද යෝගාවචරයා භාවනාව හැර පුණ්‍යෝත්සවයන්ට සහභාගී වෙයි. පුණ්‍යොත්සව පවත්වයි. තමාගේ භාවනාව නවත්වා අනුන් නිවන් යැවීමට උත්සාහ කරයි. අනුන් ලවා සිල් රක්වන්නට-භාවනා කරවන්නට උත්සාහ කරයි. ඒ හේතුවෙන් තමා ලබා සිටි සමාධියක් විදර්ශනා ඥානයක් තුබුණා නම් හේ එයින් පිරිහෙයි. යෝගාවචරයා හට එය කාමච්ඡන්දයේ ආවරණයෙන් වූ බව නො දැනේ.

පඤ්චස්කන්ධයේ නපුර සංසාරයේ නපුර තේරුම් ගෙන නිවන් මඟට පිවිසීමක් වශයෙන් ගිහිගෙය හැර නෑමිතුරන් හැර ධනය හැර පැවිදි වූ කුලපුත්‍ර‍යන්ට ද නොයෙක් විට කාමච්ඡන්දය බාධා කරයි. සමහරවිට නැඟී ආ කාමච්ඡන්දයෙන් පැවිද්දා නැවත ද ගිහි බවට යවනු ලබයි. සමහරවිට රහසේ කම්සැප විඳින දුශ්ශීලයෙක් කරනු ලැබේ. සමහරවිට කාමාශාවෙන් සැමදාම තැවෙමින් සිටින පුද්ගලයෙක් කරනු ලබයි.

බොහෝ සිවුපසය ඇතිව ගරුබුහුමන් කීර්ති ප්‍ර‍ශංසා ඇතිව උසස් තත්ත්වයෙන් ජීවත්වීමේ ආශාව වූ කාමච්ඡන්දය ඇතැම් පැවිද්දන්හට කුශලච්ඡන්ද රූපයෙන් ඇති වේ. එයින් නුවණැස වැසී ගිය පැවිද්දා ශ්‍ර‍මණධර්ම යයි කියනු ලබන සමථ විදර්ශනාවන් වැඩීමෙහි නො යෙදී පරාර්ථ සේවය කරමිය බුදුසසුන දියුණු කරමිය කියා විවිධ භාෂා ශාස්ත්‍රාදිය ඉගැන්වීම්, සමාජයට සේවය කිරීම් ආදි නොයෙක් වැඩවල යෙදෙයි. විහාර චෛත්‍ය දහම්හල් පොත්ගුල් සඞ්ඝාවාසාදි ගොඩනැගිලි කරවීමෙහි යෙදෙයි. බණ පින්කම් පිරිත් පින්කම් කරවීමෙහි පෙරහැර කරවීමෙහි ධර්මප්‍ර‍චාරය කිරීමෙහි ගෝලයන් තැනීමෙහි අනුන් ලවා භාවනා කරවීමෙහි යෙදෙයි. එවා කුශල ක්‍රියා වුව ද ඒ පැවිද්දාට ඒවායින් නිවන් මඟ ආවරණය වේ. මේ කාමච්ඡන්ද නීවරණය තරුණ පැවිද්දන්ට බොහෝ පීඩා කරන්නෙකි. බොහෝ තරුණ පැවිද්දන් සිවුරු හැර යවන්නේ ද මේ කාමච්ඡන්ද නීවරණය ය.

ආරණ්‍යගත පැවිද්දන්ට ඖදාරික කාමච්ඡන්ද ඇතිවීම අඩු ය. එහෙත් ඔවුනට ද නොයෙක් විට කුශලච්ඡන්ද රූපයෙන් කාමච්ඡන්දය ඇති විය හැකි ය. ආරණ්‍යගත පැවිද්දන් භාවනාව අතපසු කොට භාවනාවෙන් ලැබිය යුතු ප්‍ර‍තිඵලය ලැබෙන්නට පෙර ගෝලයන් තැනීම්, ස්ථාන දියුණු කිරීම්, මහා පූජා පැවැත්වීම් ආදි අන් නොයෙක් වැඩවල යෙදෙන්නේ කුශලච්ඡන්ද රූපයෙන් එන කාමච්ඡන්දයේ මෙහෙයීමෙනි.

භාවනාවෙහි යෙදී තරමක් දුර සමාධි ප්‍ර‍ඥා දියුණු කරගත් යෝගාවචරයන්ට සමහරවිට ඔවුන්ගේ භාවනාව පිළිබඳව ම ලබාගත් සමාධි පිළිබඳව, විශේෂ ඥානයන් පිළිබඳව, සියුම් ලෙස කාමච්ඡන්ද නීවරණය ඇති වී ඔවුනට භාවනා මාර්ගය ආවරණය කරයි. තරමක සමාධියක් ලැබූ යෝගාවචරයාහට ලැබූ සමාධිය පිළිබඳ ආශාවක් ඇති වේ. එය කාමච්ඡන්දය බව ඔහුට නො දැනේ. ඒ කාමච්ඡන්දය නිසා භාවනා කරන කල්හි ඔහුගේ සිත භාවනා මාර්ගයේ නො පැවතී තමා ලැබූ සමාධියට ම යොමු වේ. ඔහුට දැන් මම කොතරම් උසස් තත්ත්වයකට පැමිණ ඇත්තෙම් ද, මට දැන් මෙ පමණ පැය ගණනක් සමාධි වී සිටිය හැකිය යනාදි සිත් පහළ වන්නට පටන් ගනී. එයින් භාවනා මාර්ගය ආවරණය වී යෝගාවචරයා සමාධියෙන් පිරිහේ. විදර්ශනාව දියුණු කරගත් තැනැත්තාට ද එසේ ම කාමච්ඡන්දය නිසා තමාගේ විදර්ශනා දියුණුව ගැන ම සිත් ඇති වන්නට පටන් ගනී. ඒවායින් ඔහුට විදර්ශනා මාර්ගය වැසේ. සමහර විට යෝගාවචරයන්ට නො ලැබූ ධ්‍යානාභිඥා මාර්ගඵලයන් පිළිබඳ සූක්ෂ්ම තෘෂ්ණාවක් ඇති වේ. එය ද කාමච්ඡන්දය ය. ඒ කාමච්ඡන්දය නිසා භාවනාව පටන් ගත් කල්හි යෝගාවචරයාගේ සිත නො ලැබූ ධ්‍යානාදියට යන්නට පටන් ගැනීමෙන් භාවනා මාර්ගය වැසේ. යෝගාවචරයනට ඉතා ම බාධක නීවරණය කාමච්ඡන්දය ය. එබැවින් යෝගාවචරයන් විසින් කාමච්ඡන්දයෙන් විශේෂයෙන් ම පරෙස්සම් විය යුතු ය.

ලෝකෝත්තර මාර්ග ඥානයෙන් නීවරණයන් ප්‍ර‍හාණය කර නැති පුද්ගලයන් කෙරෙහි වරින් වර නීවරණයන් මතු වී ඒම ස්වභාවයෙකි. විදර්ශනාව නවත්වන, මඟපල-නිවන් ලැබීමේ මඟ වසන නීවරණයන් ගේ මතු ව ඒම අඩු කර ගත හැකි වීම පිණිසත්, උපන් නීවරණයට වැඩෙන්නට නො දී වහා දුරු කර ගත හැකි වීම පිණිසත් යෝගාවචරයන් විසින් නීවරණ හඳුනා ගත හැකි නුවණ ඇති කර ගත යුතු ය. නීවරණය ඇතිවීමේ හේතු දැන ඒවායින් වැළකිය යුතු ය. නීවරණ නො ඉපදීමේ හා උපන් නීවරණ දුරු වීමේ හේතූන් දැන ඒවා තමන් කෙරෙහි ඇති කර ගත යුතු ය. කාමච්ඡන්ද නීවරණය පිළිබඳව මෙහි කරන ලද විස්තරය නැවත නැවත කියවා තේරුම් ගත හොත් එය තමා කෙරෙහි නොයෙක් මුහුණුවරින් නැගෙන කාමච්ඡන්දය තේරුම් ගැනීමට බොහෝ දුරට උපකාර වනු ඇත.

“අත්ථි භික්ඛවෙ, සුභ නිමිත්තං තත්ථ අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භීය්‍යෝභාවාය වේපුල්ලාය.”

(බොජ්ඣංග සංයුත්ත)

යනුවෙන් ශුභ නිමිත්ත පිළිබඳව නුසුදුසු ලෙස වැරදි ලෙස බොහෝ කොට සිතීම නූපන් කාමච්ඡන්දය ඉපදීමටත්, උපන් කාමච්ඡන්දය වැඩීමට හා දියුණුවීමටත් හේතු වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය.

මෙහි ශුභ නිමිත්තය යි කියන ලදුයේ කාමච්ඡන්දය හා එය ඇතිවීමට හේතු වන පුද්ගලයන් හා වස්තූහු ය. මොහු ලස්සනය හොඳය කියා යම්කිසි පුද්ගලයකු ගැන හෝ වත්තක් කුඹුරක් ගෙයක් වාහනයක් ගැන හෝ අන් වස්තුවක් ගැන හෝ වරක් කාමච්ඡන්දය ඇති වූ කල්හි එය එකෙණෙහි ම ප්‍ර‍හාණය නො කොට පිළිගෙන තබා ගත හොත් ඒ පුද්ගලයා ගැන ඒ වස්තුව ගැන නැවත නැවත දිගින් දිගට ම කාමච්ඡන්දය ඇති වන්නට පටන් ගනී. එබැවින් මුලින් ඇති වන කාමච්ඡන්දයමත් කාමච්ඡන්ද ඇතිවීමේ හේතුවකි. මුල් කාමච්ඡන්දය පිළිගැනීම, පවතින්නට ඉඩ හැරීම කාමච්ඡන්දය ගැන නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම ය, හෙවත් අයෝනිසෝමනසිකාරය ය. අනිත්‍ය වූ පඤ්චස්කන්ධය නිත්‍ය දෙයක් ලෙස සැලකීම, නො මනා දෙයක්-කැත දෙයක් වන පඤ්චස්කන්ධය හොඳ දෙයක් ලස්සන දෙයක් සේ සැලකීම, බොහෝ දුක් උපදවන බැවින් නපුරක් දුකක් නො මනා දෙයක් වන පඤ්චස්කන්ධය හොඳ දෙයක් සැපය ඇති කරන දෙයක් කෙසේ හෝ නැති වන්නට නො දී පවත්වා ගත යුතු දෙයක් ලෙස සැලකීම, කැමැත්තේ සැටියට පැවැත්විය නොහෙන පඤ්චස්කන්ධය කැමැත්තේ සැටියට පැවැත්විය හැකි දෙයක් ආත්මයක් ලෙස සැලකීම, නිසරු පඤ්චස්කන්ධය සරු දෙයක් ලෙස සැලකීම, පුද්ගලයන් ගැන හා වස්තූන් ගැන නුසුදුසු ලෙස-වැරදි ලෙස සිතීම ය. එබඳු වැරදි සිතීම් බොහෝ ඇති වන්නට ඉඩ හැරීමෙන් නූපන් කාමච්ඡන්දයෝ උපදිති. උපන් කාමච්ඡන්දයෝ නැවත නැවත ඇතිවීම් වශයෙන් වැඩෙති. මහත් වෙති. දියුණු වෙති.

අනිත්‍ය වූ පඤ්චස්කන්ධය නිත්‍ය ලෙස සැලකීම ය යි කියනුයේ මේ සත්ත්වයෝ නො මැරී සැමදාම ජීවත් වෙතියි කියා ද, මේ වස්තූහු කවදාවත් නො නැසී පවතිත්ය කියා ද සැලකීම නො වේ. ජීවත්ව ඉන්නා මේ සත්ත්වයන් යම්කිසි දිනයක මැරෙන බවත් වස්තූන් දිරා විනාශ වන බවත් සැම දෙන ම දනිති. සත්ත්වයාය පුද්ගලයාය කියනු ලබනුයේ ඉපද ඉපද බිඳි බිඳී යන සංස්කාර සමූහයකට ය. සංස්කාර පරම්පරාවකට ය. ඒ සංස්කාරයන් අතර තත්පරයක් පමණ කාලයකුදු පවත්නා කිසිවක් නැත. සත්ත්වයකු පිළිබඳ සංස්කාර ධර්ම පරම්පරාවෙහි ඊයේ පැවති කිසිම සංස්කාරයක් අද නැත. අද පවත්නා කිසිම සංස්කාරයක් සෙට නැත. යම්කිසි පුද්ගලයකු බලා ඊයේ සිටියේත් මොහුය, පෙරෙයිදා සිටියේත් මොහුය, ඉකුත් මාසයේ ඉකුත් අවුරුද්දේ සිටියේත් මොහුය, සෙට සිටින්නේත් මොහුය කියා ආර්ය ධර්මය නොදත් ජනයෝ සලකති. ඒ සැලකීම මෙහි අදහස් කරන අනිත්‍ය දෙය නිත්‍ය දෙය ලෙස සැලකීම ය. එසේ නො සලකා සංස්කාරයන් අනිත්‍ය තාවකාලික දේ සැටියට සලකනවා නම් දකිනවා නම් කාමච්ඡන්දය උපදනා පුද්ගලයන් ගැන කාමච්ඡන්දය නූපදී. කාමච්ඡන්දය උපදින්නේ නිත්‍ය වශයෙන් සැලකීම නිසා ය.

කාමච්ඡන්ද ප්‍ර‍හාණය

“අත්ථි භික්ඛවේ අසුභනිමිත්තං, තත්ථ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස අනුප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස පහාණාය න භීය්‍යෝ භාවාය න වේපුල්ලාය.”

යනුවෙන් “අශුභ නිමිත්තෙහි සුදුසු සේ නිවැරදි සේ බෙහෙවින් සිතීම නූපන් කාමච්ඡන්දය නො ඉපදීමේ ද උපන් කාමච්ඡන්දය නො වැඩීමේ ද නො දියුණු වීමේ ද හේතුවය” යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. මෙහි අශුභ නිමිත්ත යයි වදාරා ඇත්තේ අශුභ භාවනාවෙන් උපදවාගත් ධ්‍යානයටත් කේශාදී ශරීර කොට්ඨාසයන්ට හා උද්ධුමාතකාදි අශුභ දශයටත් ය. අශුභ නිමිත්තෙහි සුදුසු සේ නිවැරදි සේ සිතීමය යි කියනුයේ පඤ්චස්කන්ධය අනිත්‍ය වශයෙන් ද, දුක් ගොඩක් වශයෙන් ද, තමාගේ කැමැත්ත අනුව නො පැවැත්විය හැකි දෙයක් හෙවත් ආත්ම නො වන්නක් වශයෙන් ද, කැත දෙයක් වශයෙන් ද සිතීම ය. සැලකීම ය. එසේ සිතන්නහුට ලස්සන තරුණ ස්ත්‍රී පුරුෂයන් ගැන කාමච්ඡන්දය ඉපදීම අඩුවේ. පෘථග්ජන ස්වභාවය නිසා හදිසියේ කාමච්ඡන්දයක් උපන්නත් එය දුරු වෙයි. නැවත නැවත ඇති වීම් වශයෙන් වැඩි නො වෙයි. නො දියුණු වෙයි.

ඡ ධම්මා කාමච්ඡන්දස්ස පහානාය සංවත්තන්ති. අසුභනිමිත්තස්ස උග්ගහෝ, අශුභ භාවනානුයෝගෝ, ඉන්ද්‍රියේසු ගුත්තද්වාරතා, භෝජනේ මත්තඤ්ඤුතා, කල්‍යාණමිත්තතා, සප්පාය කථා.”

යනුවෙන් කාමච්ඡන්දයාගේ ප්‍ර‍හාණය පිණිස පවතින කරුණු සයක් මහාසතිපට්ඨාන සූත්‍ර‍ අටුවාවෙහි දක්වා ඇත්තේ ය.

එකොළොස් වැදෑරුම් අශුභයන්ගේ නිමිති සිතට ගැනීම, අශුභ භාවනාවෙහි යෙදීම, ඉන්ද්‍රිය සංවරය, පමණට ආහාර වැළඳීම, කල්‍යාණ මිත්‍ර‍යන් ඇති බව, සුදුසු කථාය යන මේ අටුවාවෙහි දැක්වෙන කරුණු සය ය.

අශුභ නිමිත්ත සිතට ගැනීමය කියනුයේ අශුභ නැති තැන සිට සිහි කරන කල්හි ද එය ඉදිරියේ ඇතුවාක් මෙන් සිතට පෙනෙන තත්ත්වය ඇති කර ගැනීම ය. අශුභ භාවනාවෙහි යෙදීමය යනු උපචාරාර්පණා සමාධි ඇති වන පරිදි හොඳින් අශුභ භාවනාවෙහි යෙදීම ය. ඉන්ද්‍රිය සංවරය යනු චක්ෂුරාදි ඉන්ද්‍රියයන් ට හමුවන රූපාදි ආරම්මණයන්හි නො ඇලෙන නො ගැටෙන සේ සිහියෙන් යුක්ත වීම ය. ඇතැම්හු රස අහර ලද හොත්, බොහෝ අහර ලද හොත් කුසය තද වනතුරු පමණ ඉක්මවා වළඳති. එසේ අහර නො ගෙන කුස ලිහිල්ව පවතින පරිදි අහර ගැනීම පමණට ආහාර වැළඳීම ය. සෑම මිත්‍රයෙක් ම කාමච්ඡන්ද ප්‍ර‍හාණයට හේතු නො වේ. සෑගිරියෙහි විසූ මහාතිස්ස තෙරුන් වහන්සේ බඳු අශුභ භාවනාවෙහි යෙදෙන කල්‍යාණ මිත්‍ර‍යන් වැනි අය ආශ්‍ර‍ය නිසා කාමච්ඡන්දය දුරු වේ. ඒ තෙරුන් වහන්සේ සෑගිරියේ සිට අනුරාධපුරය බලා පිඬු සිඟා වඩනා කල්හි එක් කතක සැමියා හා දබර වී උදෑසන ම හොඳින් ඇඳ පැළඳ අනුරාධපුරයෙන් නික්ම සිය ගම බලා යන්නී අතරමඟ දී තෙරුන් වහන්සේ දැක රාගයෙන් විපර්ය්‍යාස සිත් ඇත්තී මහ හඬින් සිනාසුණාය. තෙරුන් වහන්සේ ඒ හඬ කුමක්දෝ යි බලන්නාහු ඇගේ දත් ඇට පෙළ දැක අශුභ සංඥාව පහළ වී අර්හත්වයට පැමිණි සේක. බිරිය සොයමින් ඒ මඟ ආ ඇගේ සැමියා තෙරුන් වහන්සේ හමු වී “ස්වාමීනි, මේ මඟ ගැහැණියක් ආවාදැ” යි විචාළේ ය. අශුභ භාවනාව පුරුදු කරන තෙරුන් වහන්සේට ඒ ස්ත්‍රිය පෙනුණේ ස්ත්‍රියක් ලෙස නොව ගමන් කරන ඇට සැකිල්ලක් සේය. එ බැවින් තෙරුන් වහන්සේ “පින්වත, මේ මඟ ගියේ ස්ත්‍රියක ද පුරුෂයකු ද කියා මම නො දනිමි, ඇට සැකිල්ලක් නම් මේ මඟ ගමන් කළේය” යි වදාළහ. සුදුසු කථා නම් ශරීරයේ පිළිකුල් බව පිළිබඳ වූ කාමයන්ගේ ආදීනවය පිළිබඳ වූ කථාය.

රූප කයෙහි ආදීනව දැක්වෙන ධර්මයන් හා කාමයන්ගේ ආදීනව දැක්වෙන ධර්ම ද ආහාරයේ ප්‍ර‍තිකූල භාවය දැක්වෙන ධර්ම ද සිහි කරන්නහුට කාමච්ඡන්දයේ ඉපදීම අඩු වේ. උපන් කාමච්ඡන්දය ද දුරු වේ. එබැවින් යෝගාවචරයන්ගේ භාවිතය සඳහා ඒ ධර්ම වලින් ස්වල්පයක් දක්වනු ලැබේ.

විජය සූත්‍ර‍ය

කායවිච්ඡන්දනික සූත්‍ර‍ය යනු ද මෙයට ම නමෙකි.

1. චරං වා යදි වා තිට්ඨං නිසින්නෝ උද වා සයං,

සම්මිඤ්ජේති පසාරේති ඒසා කායස්ස ඉඤ්ජනා.

.

2. අට්ඨිනහාරුසංයුත්තෝ තචමංසාවලේපනෝ,

ඡවියා කායෝ පටිච්ඡන්නෝ යථාභූතං න දිස්සති.

.

3. අන්තපූරෝ උදරපූරෝ යකපේළස්ස වත්ථිනෝ,

හදයස්ස පප්ඵාසස්ස වක්කස්ස පිහකස්ස ච.

.

4. සිඞ්ඝානිකාය ඛේලස්ස සේදස්ස ච මේදස්ස ච,

ලෝහිතස්ස ලසිකාය පිත්තස්ස ච වසාය ච.

.

5. අථස්ස නවහි සෝතේහි අසූචි සවති සබ්බදා,

අක්ඛිම්හා අක්ඛිගූථකෝ කණ්නම්හා කණ්ණගූථකෝ

.

6. සිඞ්ඝාණිකා ච නාසාතෝ මුඛේන වමතේ සදා,

පිත්තං සෙම්හං ච වමති කායම්හා සේදජල්ලිකා.

.

7. අථස්ස සුසිරං සීසං මත්ථලුඞ්ගස්ස පූරිතං,

සුභතෝ තං මඤ්ඤති බාලෝ අවිජ්ජාය පුරක්ඛතො.

.

8. යදා ච සෝ මතෝ සේති උද්ධුමාතෝ විනීලකෝ,

අපවිද්දෝ සුසානස්මිං අනපෙක්ඛා හොන්ති ඤාතයෝ.

.

9. ඛාදන්ති නං සුවාණා ච සිගාලා ච වකා කිමි,

කාකා ගිජ්ඣාච ඛාදන්ති යෙචඤ්ඤේසන්තපාණිනෝ.

.

10. සුත්වාන බුද්ධවචනං භික්ඛු පඤ්ඤාණවා ඉධ,

සෝ ඛෝ නං පරිජානාති යථාභූතං හි පස්සති.

.

11. යථා ඉදං තථා ඒතං යථා ඒතං තථා ඉදං,

අජ්ඣත්තං ච බහිද්ධා ච කායේ ඡන්දං විරාජයේ.

.

12. ඡන්දරාග විරත්තෝ සෝ භික්ඛූ පඤ්ඤාණවා ඉධ,

අජ්ඣගා අමතං සන්තිං නිබ්බානපදමච්චුතං

.

13. දිපාදකෝයං අසුචි දුග්ගන්ධෝ පරිහීරති,

නා නා කුණපපරිපූරෝ විස්සවන්තෝ තතෝ තතෝ.

.

14. ඒතාදිසේන කායේන යෝ මඤ්ඤේ උණ්ණමේතවේ,

පරං වා අවජානෙය්‍ය කිමඤ්ඤත්‍ර‍ අදස්සනා.

(සුත්තනිපාත)

ගාථාවල තේරුම:-

  1. සත්ත්ව තෙමේ යමින් ද සිටිමින් ද හිඳිමින් ද ශරීරයේ පුරුක් හකුළවයි. දිග හරී. එය ශරීරයේ ම සෙලවීමකි. ශරීරය තුළ ගමන් කරන්නා වූ හැකිළවීම්, දිග හැරීම් සිදු කරන්නා වූ සත්ත්වයෙක් නැත. ආත්මයක් නැත. සිතින් හට ගන්නා වූ වායෝ ධාතුව ශරීරයේ පැතිරී යාමෙන් ඒ සෙලවීම් සිදු වේ.
  2. මේ ශරීරය තුන්සිය සැටක් ඇටවලින් හා නවසියයක් නහරවලින් යුක්තය. ඒවා සමින් හා නවසියයක් මස් වැදලි වලින් වැසී ඇත්තේ ය. ඒ කය සියුම් සිවියකින් වැසී ඇත්තේ ය. ප්‍ර‍ඥාචක්ෂුස නැති බාල පෘථග්ජන පුද්ගලයන්ට ශරීරය ඇති සැටියට නො පෙනේ. ඔවුන්ට පෙනෙන්නේ ශරීරය එක් දෙයක් ලෙසය. සත්ත්වයකු පුද්ගලයකු ලෙසය.
  3. මේ කය බඩවැල් ය අමු ආහාරය අක්මා මස ය මුත්‍ර‍ ය හෘදයමාංස ය පෙණහලු ය වකුගඩු ය බඩ දිව ය …
  4. සොටු ය කෙළ ය ඩහදිය ය මේදස් ය ලේ ය සඳමිදුලු ය පිත ය තෙල ය යන කුණප කොට්ඨාසයන්ගෙන් පිරුණු එකෙක.
  5. මේ ශරීරයේ සිදුරු නවයකින් සැම කල්හි අපවිත්‍ර‍ දෑ ගලන්නේ ය. ඇස් වලින් කබ ගලන්නේ ය. කන්වලින් කලාඳුරු ගලන්නේ ය.
  6. නාසයෙන් සොටු ගලන්නේ ය. මුඛයෙන් පිත් සෙම් ගලන්නේ ය. ශරීරයෙන් ඩහදිය මුගුරු ගලන්නේ ය.
  7. සත්ත්වයාගේ සිදුරු සහිත හිස්කබල මොළයෙන් පිරුණේ ය. අවිද්‍යාව පෙරටු කොට සිටින බාලයා කුණපයෙන් පිරුණු සිරුර ලස්සන දෙයකැයි සිතයි.
  8. යම් කලෙක සත්ත්වයා මැරී සොහොනෙහි දමන ලදුව ඉදිමී නිල්ව සයනය කෙරේ ද එකල්හි ඔහු ගැන නෑයෝ නිරපේක්ෂක වන්නාහ.
  9. සොහොනෙහි දමා ඇති ඒ සිරුර බල්ලෝ ද, සිවල්ලු ද, වක නම් පක්ෂීහු ද, පණුවෝ ද, කපුටෝ ද, ගිජු ලිහිණීහු ද, තවත් සත්ත්වයෝ ද කන්නා හ.
  10. මේ ශාසනයෙහි විදර්ශනාඥානය ඇති මහණ තෙමේ රාගය දුරු කරන බුදුවදන් අසා කේශාදි කුණප සමූහයක් වූ මේ කය පුද්ගලයකු වශයෙන් නොව කුණප සමූහයක් වශයෙන් පිරිසිඳ දනී. කය ඇති සැටියෙන් ම දකී.
  11. යාම, සිටීම, හිඳීම, වැතිරීම, හැකිළීම, දිගු කිරීම කරන මේ විඤ්ඤාණ සහිත කය යම් සේ ද සොහොනෙහි නිදන කය ද එසේ ම ය. එයත් පෙර මේ ජීවමාන කය සේ ම ක්‍රියා කෙළේ ය. නෑයන් විසින් නිරපේක්ෂකව බැහැර කරන ලදුව සොහොනෙහි නිදන ඒ සිරුර යම් සේ ද ජීවමාන වූ මේ සිරුරත් එසේ ය. යම් කිසි දිනක මේ ජීවමාන සිරුරත් ඒ තත්ත්වයට පැමිණෙන්නේ ය. නුවණැති මහණ තෙමේ එසේ සලකා තමාගේ ශරීරය ගැන ඇති ඡන්දරාගය ද, අනුන්ගේ ශරීර ගැන ඇති ඡන්දරාගය ද දුරු කරන්නේ ය. දුරු කොට අර්හත්වයට පැමිණ දුක් කෙළවර කරන්නේ ය.
  12. මේ ශාසනයෙහි ලෝකෝත්තර ප්‍ර‍ඥාව ඇත්තා වූ කයෙහි පැවති ඡන්දරාගය සම්පූර්ණයෙන් ප්‍ර‍හාණය කළා වූ ඒ භික්ෂු තෙමේ මරණයක් නැත්තා වූ ප්‍ර‍ණීත වූ, ශාන්ත වූ, තෘෂ්ණාබන්ධන නැත්තා වූ නිර්වාණය ලැබුයේ ය.
  13. දෙපයක් ඇත්තා වූ අපවිත්‍ර‍ වූ, දුගඳ වූ මේ කය සුවඳ විලවුන් ආදියෙන් කැත වසා දුගඳ වසා පරිහරණය කරනු ලැබේ. එහේත් කේසාදි නානා කුණපයන් පිරුණා වූ මේ ශරීරය ඒ ඒ සිදුරු වලින් කැත කුණු වගුරු වන්නේ ය.
  14. එබඳු අපවිත්‍ර‍ කයෙකින් යමෙක් මේ කය මම ය, මාගේ ය නිත්‍ය ය කියා උඩඟු වන්නට සිතා නම් එයට හේතුව චතුරාර්යසත්‍යයන් නො දැකීම හැර අන් කිමෙක් ද?

දුරු කිරීමට දුෂ්කර නපුරු කාමච්ඡන්දයන් ඇති වන්නේ තමා ගේ හා අනුන්ගේ ශරීරයන් සම්බන්ධයෙනි. මේ කායවිච්ඡන්දනික සූත්‍ර‍ධර්මය, දුරු කිරීමට දුෂ්කර කාමච්ඡන්දයන් දුරු කිරීමෙහි සමත් ධර්මයකි. තථාගතයන් වහන්සේ මේ සූත්‍ර‍ය දේශනය කළ කල්හි එය අසා සිරිමා නමැති ගණිකාව සම්බන්ධයෙන් ඇති වූ කාමච්ඡන්දය හෙවත් රාගය නිසා ආහාර වැළඳීම පවා නො කළ හැකිව සිටි භික්ෂුවක් රාගය දුරු කර ගෙන සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. රූපයෙන් මත්ව බුදුරදුන් පවා දක්නට පවා නො යමින් සිටි නන්දා නමැති භික්ෂුණිය ද රූපයේ සැබෑ තත්ත්වය තේරුම් ගෙන විදසුන් වඩා දින කීපයකින් සියලු කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියා ය. සිරිමා නමැති දෙව්දුව ද අනාගාමී වූවා ය. එය ඇසීමට පැමිණි සුවාසූ දහසක් සත්ත්වයන්ට ද සත්‍යාවබෝධය විය. නිතර කාමච්ඡන්දය ඇති විය හැකි තරුණ යෝගීන්ට මේ සූත්‍ර‍ය භාවිතා කිරීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

ආහාර ප්‍ර‍තිකූලතාව

1. අන්නං පානං ඛාදනීයං භෝජනඤ්ච මහාරහං.

ඒකද්වාරෙන පවිසිත්වා නවද්වාරේහි සන්දති.

.

2. අන්නං පානං ඛාදනීයං භෝජනඤ්ච මහාරහං,

භුඤ්ජති සපරිවාරෝ නික්ඛාමෙන්තෝ නිලීයති.

.

3. අන්නං පානං ඛාදනීයං භෝජනඤ්ච මහාරහං,

භුඤ්ජති අභිනන්දන්තෝ නික්ඛාමෙන්තෝ ඡිතුච්ඡති.

.

4. අන්නං පානං ඛාදනීයං භෝජනඤ්ච මහාරහං,

ඒකරත්ති පරිවාසා සබ්බං භවති පූතිකං.

තේරුම:-

  1. බත් පැන් හා කැවිලි ද වටිනා බොජුන් ද එක් සිදුරකින් ශරීරයට ඇතුළුව සිදුරු නවයකින් පිට වන්නේ ය.
  2. බත් පැන් කැවිලි හා වටිනා බොජුන් පිරිවර සහිතව අනුභව කරයි. ඒවා ශරීරයෙන් බැහැර කරන කල්හි කැත නිසා සැඟවෙයි.
  3. බත් පැන් හා කැවිලි වටිනා බොජුන් ප්‍රීතියෙන් වළඳයි. ඒවා කයින් පිට කරන කල්හි පිළිකුල් කරයි.
  4. බත් පැන් කැවිලි හා වටිනා බොජුන් එක් රාත්‍රියක් ඉක්මීමෙන් සියල්ල කුණු වෙයි.

කාමයන් ගේ ආදීනව

  1. අට්ඨිකඞ්කලූපමා කාමා,
  2. මංසපේසූපමා කාමා,
  3. තිණුක්කූපමා කාමා,
  4. අඞ්ගාරකාසූපමා කාමා,
  5. සුපිනකූපමා කාමා,
  6. යාචිතකූපමා කාමා,
  7. රුක්ඛඵලූපමා කාමා,
  8. අසිසූනූපමා කාමා,
  9. සත්තිසූලූපමා කාමා,
  10. සප්පසිරූපමා කාමා,
  11. අග්ගික්ඛන්ධූපමා කාමා.

(නිද්දෙසපාළි)

මේ පාඨය පාඩම් කරගෙන තිබීම යෝගාවචරයන්ට ප්‍රයෝජනය. මෙය ද විදර්ශනාවට අයත් ය. වස්තු කාමය ක්ලේශකාමය කියා කාම දෙවර්ගයකි. වස්තුකාමය නම් සත්ත්වයන් ඇලුම් කරන වස්තූහු ය. කාම වස්තූහු ය. ඒවා මෙහි අන් තැනක විස්තර කර ඇත. ක්ලේශ කාම යනු කාම වස්තූන් ගැන ඇතිවන ආශාව ය. ක්ලේශයක් වන බැවින් එයට ක්ලේශකාමය යි කියනු ලැබේ. කාමච්ඡන්ද නීවරණය යි කියනුයේ ද එයට ම ය.

1. අට්ඨිකඞ්කලූපමා කාමා.

කාමවස්තූහු ලේමස් නැති ඇටකැබෙල්ලක් වැනියෝ ය. ගවයන් මරා මස් කරන තැනක මස් කපා ගෙන විසි කර ඇති ඇට කැබෙල්ලක් සාගින්නෙන් පෙළෙන සුනඛයකුට හමුවුවහොත් ඌ එහි ඇති ලේ මස් ගඳ නිසා ඉමහත් ලෝභයෙන් එය සපන්නට වන්නේ ය. එහෙත් එයින් ඌ වෙහෙසට පත්වෙනවා මිස උගේ සාගින්න නො නිවෙන්නේ ය. එමෙන් ලස්සනය හොඳය කියා සලකන කාම වස්තූන් වැලඳගෙන රසයක් ලබන්නට උත්සාහ කරන කාමුකයන්ට වෙහෙස හැර අන්තිමට එයින් ලැබුණු එයින් ඉතිරි වුණු කිසි මිහිරක් නැත. එබැවින් කාමයෝ ලේ මස් නැති ඇට කැබලි වැනියෝ ය.

2. මංසපේසූපමා කාමා

කාමවස්තූහු මස් වැදැල්ලක් වැනියෝ ය. මස් වැදැල්ල එක් සතකුට ම නොව බොහෝ සතුන්ට ප්‍රයෝජනය ලැබිය හැකි බොහෝ සතුන් කෑමට බලාපොරොත්තු වන දෙයකි. එබැවින් එය බොහෝ දෙනාට සාධාරණ වස්තුවකි. කාමවස්තූන් අතර ද එක් අයකුට පමණක් ප්‍රයෝජනය ලැබිය හැකි එක් අයකු පමණක් කැමති වන අන්‍යයන් කැමති නොවන වස්තුවක් නැත. එබැවින් කාම වස්තූහු බොහෝ දෙනාට සාධාරණ ය. මස් වැදැල්ලක් ගෙන කපුටකු පියාසර කරතහොත් එය උදුරා ගැනීම සඳහා දුටු දුටු කපුටා ලුහුබැඳ ඌට කොටන්නට පටන් ගන්නේ ය. එමෙන් එක් කාම වස්තුවක් අයිති කර ගැනීමට එයින් ප්‍රයෝජන ලැබීමට බොහෝ දෙනා උත්සාහ කරන්නාහ. කාම වස්තුවක් අයිති කරගෙන සිටින්නහුට එය අත් හරනා තුරු සෙස්සන් ගෙන් බියක් ඇත්තේ ය. මාපියන් මරා දූන් පැහැර ගෙන යන්නේ, සැමියන් මරා අඹුවන් පැහැර ගෙන යන්නේ, හිමියන් මරා වස්තුව පැහැරගෙන යන්නේ, එක් අයකු අයිති කර ගෙන සිටින ඉඩමට අනිකකු පනින්නේ කාමයන්ගේ බහු සාධාරණ භාවය නිසා ය. මස් වැදැල්ල ගෙන යන කපුටාට නිදහස ලැබීමට නම් එය හළ යුතු ය. එමෙන් කාමයන් නිසා වන බියෙන් නිදහස් වීමට නම් කාමයන් හළ යුතු ය. බහු සාධාරණත්වය කාමයන්ගේ මහත් ආදීනවයෙකි.

3. තිණුක්කූපමා කාමා

කාමයෝ තණසුලු වැනියෝ ය. මේ රටේ පාවිච්චි කරන්නේ පොල්කොළ හුලු ය. රාත්‍රී කාලයේ පොල්කොළ හුලක් ගෙන ගමන් කරන තැනැත්තා එය නො හළ හොත් එයින් ඔහුගේ අත දැවෙන්නේ ය. එමෙන් කාම වස්තූන් අයිති කරගෙන ඒවා නොහැර ඒවායේ ම ඇලී සිටින්නවුන්ට අවසානයේ දී ඇති වන්නේ ශෝකාදි දුක් රැසකි.

“කාමතෝ ජායතී සෝකෝ - කාමතෝ ජායතී භයං,

කාමතෝ විප්පමුත්තස්ස - නත්ථි සෝකෝ කුතෝ භයං.”

(ධම්ම පද)

කාමය නිසා ශෝකය හටගනී. කාමය නිසා භය ඇති වේ. කාමයන් හැර ඒවායින් මිදුණහුට ශෝකයක් නැත. ඔහුට බයක් ඇති වන්නේ කොයින් ද?

4. අඞ්ගාරකාසූපමා කාමා

කාමයෝ ගිනි අඟුරුවළකට බඳු උපමා ඇතියෝ ය. ගිනි අඟුරු වළෙහි ඇත්තේ මහත් දැවීමකි. එයට ළංවූ තැනැත්තා වැටුණු තැනැත්තා දැවෙන්නේ ය. එමෙන් කාම වස්තූන් ළං කරගෙන අයත් කර ගෙන සිටින තැනැත්තා ද ඒවායින් දැවෙන්නේ ය. කාම වස්තුවක් වන බිරියක අයත් කරගෙන සිටින පුරුෂයා හට ඒ කාම වස්තුවට යම්කිසි විපතක් වේය කියා ද නිතර ගින්නක් ඇත්තේ ය. ඈ තමා හැර අන් පුරුෂයකු හෝ යේදෝ යි ගින්නක් ඇත්තේ ය. ඇය වෙත අන් පුරුෂයෙක් පැමිණේය කියා ද ගින්නක් ඇත්තේ ය. ධනය රැස් කරගෙන සිටින්නහුට තමාගේ ධනය සොර සතුරෝ ගනිත් ද අන් කිසි ක්‍ර‍මයකින් හෝ නැති වේ ද කියා නිතර ඇවිළෙන ගින්නක් ඇත්තේ ය. සමහර විට ඒ තැවීම නිසා ඔහුට රාත්‍රියේ නින්ද නො යන්නේ ය. එසේ අයිති කරගෙන සිටින තැනැත්තා දවන බැවින් කාමයෝ අඟුරු වළක් වැනියෝ ය.

5. සුපිනකූපමා කාමා

කාමයෝ සිහිනයන් වැනියෝ ය. නින්දට වන් තැනැත්තාට සමහරවිට ශෝභන නගර ග්‍රාම කෙත්වතු යාන වාහන උත්සවාදිය පෙනේ. සමහරවිට නොයෙක් වස්තූන් ද ලැබේ. අවදිව බලන කල ඒ සිහිනෙන් දුටු සිහිනෙන් ලැබුණු දේවලින් කිසිවක් නැත. කම්සැප විඳින්නහුට ද ඒ සැපය විඳින වේලාවේදී මිස ඉන්පසු එය නැත. ලබාගෙන ඇති කාම වස්තූහු ද කලකදී නැති වී යති. කාමවස්තූන් ඇත්තේ ද තමා මිය පරලොව යාමෙන් ඒ සියල්ලට ම අහිමි වේ. අතීත භව වලදී එක් පුද්ගලයකු අයිති කරගෙන සිටි කාම වස්තූහු ඉතා බොහෝ ය. වර්තමාන භවයේ දී ඒවායින් කිසිවක් ඔහුට නැත. වර්තමාන භවයේ දී අයත් කරගෙන පණ මෙන් ආදරයෙන් සිටින කාමවස්තූන් ද ඔහුට මරණින් පසු නැත. එබැවින් කාමයෝ සිහිනයක් බඳු ය.

6. යාචිතකූපමා කාමා

කාමයෝ තාවකාලික වශයෙන් අනුන්ගෙන් ඉල්ලා ගත් දේ වැනි ය. උත්සවයක් පැවැත්වීම සඳහා, ගමනක් යාම සඳහා, අනුන්ගෙන් තාවකාලික වශයෙන් යම්කිසි දෙයක් ගත් තැනැත්තාට එය සැමදාට ම තබා ගත හැකි නො වේ. හිමියන්ට ආපසු දීමට සිදු වේ. කොතෙක් කාම වස්තූන් අයිති කරගෙන සිටිය ද ඒ තැනැත්තාට ඒවා සැම කල්හි ම තබාගෙන සැමකල්හි ඒවායින් සැප විඳීමට නො ලැබේ. එබැවින් කාමයෝ අනුන්ගෙන් ගන්නා ලද වස්තූන් වැනිය යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

7. රුක්ඛඵලූපමා කාමා.

කාමයෝ ගසක ගෙඩි වැනියෝ ය. එක් පුරුෂයෙක් වනයෙහි මිහිරිපල ඇති ගසක් දැක එයට නැඟ පල අනුභව කරමින් ගසෙහි සිටී. පොරවක් ගත් අනිකෙක් එහි පැමිණ ගසෙහි ගෙඩි දැක මට ගස් නගින්නට නො පිළිවන. මම මේ ගස මුලින් කපා හෙළා ගෙඩි කමියි සිතා ගස කපන්නට පටන් ගනී. එසේ කරන කල්හි කලින් ගසේ සිටි තැනැත්තා ගෙඩි වලට ලෝභයෙන් ගසින් නො බැස සිටියහොත් ගස බිම වැටීමෙන් ඔහු ගේ අත් පා හෝ කැඩී යයි. ඔහු මරණයට හෝ පැමිණෙයි. එමෙන් එක් අයෙකු අයත් කරගෙන සිටින කාමවස්තූන් පැහැර ගැනීමට අනිකෙක් පැමිණි කල කලින් කාම වස්තූන් අයිති කරගෙන සිටි තැනැත්තා ඒවා නොහැර ඒවායේ ඇලී සිටියහොත් පසුව එන තැනැත්තාගෙන් පහර ලබා ඔහුට මැරෙන්නට හෝ මහත් දුකකට පත් වන්නට හෝ සිදු වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ කාමයෝ ගසක ගෙඩි වැනියෝ යි වදාළහ.

8. අසිසූනූපමා කාමා.

කාමයෝ කඩුවක් හා මස් කපන කොටයක් වැනියෝ ය. කොටය මත තබා කඩුවෙන් පහර දෙන කල්හි මස් කැපී යන්නාක් මෙන් කාමයන් නිසා ගුණධර්මයෝ කැපී යති. සිල්වත්හු ශීලයෙන් පිරිහී දුශ්ශීලයෝ වෙති. සමාධි ඇත්තෝ සමාධියෙන් පිරිහෙති. භාවනා කරන්නේ භාවනාවෙන් පිරිහෙති. එබැවින් භාග්‍යවතුන් වහන්සේ කාමයෝ කඩුවක් හා කොටයක් වැන්නෝ යයි වදාළ සේක.

9. සත්තිසූලූපමා කාමා.

කාමයෝ සැත්හුලක් වැනියෝ ය. සැත්හුලය යි කියනුයේ පිහි කිණිසි ආදියේ උලටය. සැත්හුල ශරීරය සිදුරු කොට ශරීරයට ඇතුළුව සත්ත්වයනට ඉවසිය නොහෙන මහදුක් වේදනා ඇති කරන්නාක් මෙන් කාමවස්තූහු ද සත්ත්වයන්ගේ සිත් විද, සිත්වලට ඇතුළුව බොහෝ දුක් ඇති කරන්නා හ. විශේෂයෙන් ම සත්ත්වයන්ගේ සිත් සිදුරු කර සිත් වලට ඇතුළු වන්නේ ස්ත්‍රී රූපය නමැති කාමය ය. එය සිතට ඇතුළු වූ පුද්ගල තෙමේ ඒ පීඩාව නිසා රෑ නිදි නො ලබයි. සමහර විට ඒ නිසා උමතු වෙයි. රෝගාතුර වෙයි. ඇතැම්හු ඒ නිසා දිවි නසා ගනිති. ඇතැම්හු නො ලැබිය හැකි ස්ත්‍රීන් ලබා ගන්නට ගොස් වධයටත් බන්ධනයටත් පැමිණෙති.

10. සප්පසිරූපමා කාමා.

කාමයෝ සර්ප හිසක් වැනියෝ ය. ගත් තැනැත්තා මරණයට හෝ මැරෙන තරමේ මහත් දුකට හෝ පමුණුවනු ලබන බැවින් සර්ප හිස භයානක දෙයකි. කාමවස්තූන් අයිති කරගෙන සිටින්නහුට ඒවා නිසා නොයෙක් දුක් පැමිණේ. සමහරවිට සොරු පැමිණ තළා පෙළා බැඳ දමා වස්තුව ගෙන යති. සමහරවිට මරා දමා වස්තුව ගෙන යති. කාම වස්තූන් වන භාර්‍ය්‍යාවන් දූදරුවන් සතුටු කිරීමට ඔවුන් රැකගැනීමට යාමෙන් ද නොයෙක් විපත් පැමිණේ. ඔවුන් නිසා නොයෙක් පව්කම් කරන්නට සිදුවීමෙන් මරණින් මතු අපාගත වන්නට සිදු වේ. එබැවින් කාමයෝ සර්ප හිස වැනියෝ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

11. අග්ගික්ඛන්ධූපමා කාමා.

කාමයෝ ගිනි කඳක් වැනියෝ ය. වස්තුකාම ක්ලේශ කාම දෙකින් වඩා ම ගිනිකඳකට සමාන වන්නේ ක්ලේශ කාමය වූ රාගය ය. ගින්න යම් වස්තුවක හට ගත්තේ නම් ඒ වස්තුව දවා විනාශයට පමුණුවයි. එමෙන් බලවත් රාගය යමකු තුළ හට ගත්තේ නම් එයින් සිත කය දෙක ම දවා ඒ පුද්ගලයා විනාශයට පමුණුවනු ලැබේ.

දිනක් සද්ධාතිස්ස රජතුමා අන්තඃපුර ස්ත්‍රීන් හා විහාරයට ගියේ ය. එක් තරුණ පැවිදි නමක් ලෝහ ප්‍රාසාදයේ දොරකඩ සිට එයින් එක් කතක දෙස බැලී ය. ගමන් කරමින් සිටි ඒ කත ද ගමන නවත්වා පැවිදි නම දෙස බැලුවා ය. ඔවුන් තුළ එකිනෙකා ගැන හටගත් රාග ගින්නෙන් දැවී ඒ දෙදෙන එතැන ම මිය ගියහ. මේ කථාව මනෝරථපූරණියෙහි දක්වා ඇත්තේ ය. කැළණි විහාරයේ තරුණ පැවිදි නමක් ද එසේ ම රාග ගින්නේ දැවී මළ බව ද එහි ම සඳහන් වේ.

බොහෝ සත්ත්වයෝ කාමයන් නිසා මුළා වෙති. සත්ත්වයන් මුළා කරවා ඔවුන් විනාශයට පමුණුවන බැවින් වස්තු කාමයෙන් ගිනිකඳකට සමානය යි කිය හැකි ය.

කාම සූත්‍ර‍ය

1. කාමං කාමයමානස්ස-තස්ස චෙතං සමිජ්ඣති

අද්ධා පීතිමනෝ හෝති-ලද්ධා මච්චෝ යදිච්ඡති.

.

2. තස්ස චේ කාමයමානස්ස-ඡන්දජාතස්ස ජන්තුනෝ,

තේ කාමා පරිහායන්ති-සල්ලවිද්ධෝව රුප්පති.

.

3. යෝ කාමේ පරිවජ්ජේති-සප්පස්සේව පදාසිරෝ,

සෝ මං විසත්තිකං ලෝකේ-සතෝ සමතිවත්තති.

.

4. ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා-ගවාස්සං දාසපෝරිසං,

ථියෝ බන්ධු පුථුකාමේ-යෝ නරෝ අනුගිජ්ඣති.

.

5. අබලා නං බලීයන්ති-මද්දන්තේ නං පරිස්සයා,

තතෝ නං දුක්ඛමන්වේති-නාවං භින්න මිවෝදකං.

.

6. තස්මා ජන්තු සදා සතෝ-කාමානි පරිවජ්ජයේ,

තේ පහාය තරේ ඕඝං-නාවං සිඤ්චිත්ව පාරගූ.

(සුත්ත නිපාත)

තේරුම:-

  1. ආහාරපාන වස්ත්‍රාභරණාදි කාම වස්තූන් කැමති වන්නහුට ඒවා රිසිසේ ලැබුණේ නම් එයින් ඔහු ප්‍රීතිමත් වන්නේ ය.
  2. ඉදින් කාමවස්තූන් කැමති වන්නහුට රිසි සේ ඒවා නො ලැබුණේ හෝ වේ නම් තුබූ කාමවස්තූන් විනාශ වූයේ හෝ වේ නම් ඔහු හෙල්ලකින් අණිනු ලැබූවකු සේ දුක් වේ.
  3. යමෙක් සර්පහිසෙහි නො ගටා තමා ගේ පය අයින් කර ගන්නාක් මෙන් සර්ප හිසක් බඳු වූ කාමවස්තූන් වර්ජනය කෙරේ ද, සිහියෙන් යුක්ත වූ ඒ පුද්ගල තෙමේ ලෝකයෙහි පැතිර විසිර පවත්නා වූ තණ්හාව ඉක්මවා සිටින්නේ ය.
  4. කෙත්වතු ය රන් ය ගවයෝ ය අශ්වයෝ ය දාසයෝ ය ස්ත්‍රීහු ය නෑයෝ ය යන මේ බොහෝ කාමයන්ට යමෙක් ඇලුම් කෙරේ ද:
  5. හීන වූ රාගාදි ක්ලේශයෝ ඔහු කෙරෙහි බල පවත්වති. කාමවස්තූන්හි ඇලී සිටින්නා වූ ඒ පුද්ගලයා ප්‍ර‍කට වූ ද අප්‍ර‍කට වූ ද පීඩකයෝ මර්දනය කෙරෙත්. එබැවින් සිදුරු වූ නැවට ජලය එන්නාක් මෙන් ජාත්‍යාදි දුක් ඔහුට එන්නේ ය.
  6. එබැවින් සත්ත්ව තෙමේ සැම කල්හි භාවනාවෙහි යෙදීම් වශයෙන් සිහියෙන් යුක්ත වී කාමයන් දුරු කරන්නේ ය. තදඞ්ග වශයෙන් හෝ විෂ්කම්භණ වශයෙන් හෝ ක්ලේශකාම සංඛ්‍යාත තණ්හාව ප්‍ර‍හාණය කොට ලෝකෝත්තර මාර්ගය ලැබ දියෙන් බර වූ නැවෙහි දිය ඉස පරතෙරට යන්නාක් මෙන් කාමාදි ඕඝයන් එතෙර කොට නිවනට යන්නේ ය.

ව්‍යාපාද නීවරණය

ඇසට පෙනෙන, කනට ඇසෙන, නාසයට-දිවට දැනෙන, කයට දැනෙන, සිතට හසුවන-දැනෙන අරමුණු හා විරුද්ධ ස්වභාවය අරමුණට අනනුකූලස්වභාවය ව්‍යාපාද නම් වේ. එය ඇති වූ කල්හි බතක් පිළුණු වී ගියාක් මෙන් ඉදුණු ගෙඩියක් කුණු වී ගියාක් මෙන් සිත නො මනා ස්වභාවයකට පැමිණේ. “මෙය දැකීමෙන් ඇසීමෙන් මේ දෙය සිදු වීමෙන් මාගේ සිත නරක් වූයේ ය”යි මිනිසුන් සමහරවිට කියන්නේ ව්‍යාපාදය නිසා සිතට ඇති වූ ඒ නො මනා ස්වභාවය ගැන ය. ඒ සිත කුණු කරන ස්වභාවය එය ඇති වු පුද්ගලයාගේ හා අන්‍යයන්ගේ ද දියුණුව හා සැපය නසන බැවින් ව්‍යාපාද නම් වේ. ද්වේෂය ක්‍රෝධය වෛරය විරුද්ධත්‍වය නො සතුට නො රිස්සුම පිළිකුල භය යන වචන වලින් කියැවෙන්නේ ද ඒ ඒ ආකාරයෙන් ඇතිවන ව්‍යාපාදය ය. ඥාති ව්‍යසනාදිය නිසා ඇතිවන ශෝකය ය, අනුන්ගේ සම්පත් නො ඉවසන ස්වභාවය වූ ඊර්ෂ්‍යාව ය, තමාගේ දෙයින් අනුන්ට ප්‍රයෝජනයක් යහපතක් වීම නො ඉවසන තමා අයත් දෙයක් අනුන්ට නො දෙන ස්වභාවය වූ මාත්සර්ය්‍ය ය, කළ පව්කම් ගැන තැවෙන ස්වභාවය වූ කුක්කුච්චය යන මේ පාප ධර්මයෝ ද ව්‍යාපාදය හා බැඳී උපදනා ධර්මයෝ ය. ව්‍යාපාදයෙන් තොරව ඒවා ඇති නො වේ. ස්වර්ග මාර්ගය භාවනා මාර්ගය හා නිර්වාණ මාර්ගය වසන බැවින් ඒ ව්‍යාපාද නීවරණ නම් වේ.

අන්‍යයා හා තදින් සැපෙන්නා වූ ආකාරයෙන් අන්‍යයාට රිදවන ආකාරයෙන් අන්‍යයා විනාශ කරන ආකාරයෙන් අන්‍යයන්ට විරුද්ධව ඉදිරිපත් වන ආකාරයෙන් ඇතිවන ගින්නක් සේ දරුණු ව්‍යාපාදය ක්‍රෝධ නම් වේ. එය බෙහෙවින් ඇති වන්නේ දුබල සතුරන් සම්බන්ධයෙනි. සතුරු වස්තුව කෙරෙන් හෝ පුද්ගලයා කෙරෙන් ඈත්වන ස්වභාවයෙන්, පලායන ස්වභාවයෙන්, පස්සට යන ස්වභාවයෙන් ඇතිවන ව්‍යාපාදය භය නම් වේ. එය බෙහෙවින් ඇති වන්නේ බලවත් සතුරා සම්බන්ධයෙනි. විරුද්ධව ඉදිරිපත් වන ආකාරය ද නැති, පලා යන ස්වභාවය ද නැති, එතැනම ඇකිළෙන ස්වභාවයෙන් ඇතිවන ව්‍යාපාදය පිළිකුල නම් වේ. අපවිත්‍ර‍ව වෙසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් හා නොමනා නීච ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ද අසූචි මළකුණු ආදි අපවිත්‍ර‍ වස්තූන් සම්බන්ධයෙන් ද පිළිකුල නම් වූ ව්‍යාපාදය ඇති වේ.

මේ ව්‍යාපාදය වනාහි නිවන ගැන මඳ හැඟීමකුදු ඇති නොවන පරිදි, සත්ත්වයන්ගේ නුවණැස වසා ඔවුන් පස්කම් සැප සෙවීමෙහි යොදවා නිවන ආවරණය කරන කාමච්ඡන්ද නීවරණය සේ බොහෝ ජනයාට නිතර ඇතිවන නීවරණයක් නොවතුදු දීර්ඝ කාලයකට සගමොක් දෙක ම වැසී යන දරුණු පව්කම් සිදු කරවන නීවරණයෙකි. දීර්ඝ කාලයකට සගමොක් මං වසන මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුවරුන්ගේ කයෙහි ලේ සෙලවීම, සඞ්ඝයා භේද කිරීම යන ප්‍ර‍තිකාරයක් නැති දරුණු පව් සිදු කෙරෙන්නේ ව්‍යාපාදයෙනි.

මේ ව්‍යාපාදය නිසා මා පියන්ට අපරාධ කිරීම, පැවිද්දන්ට වරද කිරීම, සිල්වතුන්ට ගුණවතුන්ට වරද කිරීම, බුදුපිළිමවලට දාගැබ්වලට විහාරවලට බෝධිවලට වරද කිරීම යන මේවායින් ද සගමොක් මඟ වැසේ. එහෙත් ඒ වරද වලට ප්‍ර‍තිකාරයක් ඇත්තේ ය. එනම් සමා කර ගැනීම ය. එසේ කළ කල්හි ඔහුට ස්වර්ගමෝක්ෂාවරණය නො වේ.

“දෝසේන හි දුට්ඨෝ මාතාපිතූසු පි චේතියේ පි බෝධිම්හි පි පබ්බජිතේසු පි අපරජ්ඣිත්වා මය්හං ඛමථාති අච්චයං දේසේති, තස්ස සහ ඛමාපනේන තං කම්මං පටිපාකතිකමේව හෝති.”

(මනෝරථපූරණී)

අනේකාකාර ව්‍යාපාදයන් අතුරෙන් දහම් පොත්වල ‘අරති’ යන නමින් හඳුන්වා ඇති භාවනාව නො රිස්සීම එපාවීම වූ ව්‍යාපාදය යෝගාවචරයන්ට ඉතා බාධක වූ සියුම් වූ ව්‍යාපාද නීවරණය ය. බොහෝ යෝගාවචරයන් භාවනාවෙන් ඉවත් වන්නේ නිවන් මඟින් ඉවත් වන්නේ එපාවීම් ආකාරයෙන් ඇතිවන ඒ ව්‍යාපාදය නිසා ය. නිවන් මඟට බැසීම් වශයෙන් අරණ්‍යයකට හෝ අන් ජනශූන්‍යස්ථානයකට හෝ එළඹ භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාහට මැසි මදුරු ආදි සතුන්ගෙන් පීඩා ලැබේ. සමහර විට වුවමනා පරිදි ආහාර පාන නොලැබී යාමෙන් අපහසු වේ. එක් තැනක හිඳ භාවනාවෙහි යෙදෙන කල්හි බොහෝ ශාරීරික වේදනා ඇති වේ. සමහර විට රෝග ද හට ගනී. ඒවායින් පීඩාවට පත්වන යෝගාවචරයාහට භාවනාව එපා වීම් ආකාරයෙන් ව්‍යාපාද නීවරණය ඇති වේ. භාවනාවෙහි යෙදෙන ඇතැමුන්ට වැඩිකල් ගත නොවී ම සතුටු වීමට කරුණු ඇති වේ. ඇතැමුන්ට බොහෝ කල් භාවනාවෙහි යෙදුණේ ද සතුටු වීමට තරම් දෙයක් සිදු නොවේ. අමුතු සමාධියක් හෝ ඥනයක් ඇති නො වේ. ආලෝකයක් තරම දෙයකුදු ඇති නො වේ. එයින් ද යෝගාවචරයනට භාවනාව එපාවීම වූ ව්‍යාපාද නීවරණය ඇති වේ. සියුම් බැවින් ඒ ව්‍යාපාදය ව්‍යාපාදයක් ලෙස තේරුම් ගැනීම දුෂ්කර ය. එයින් භාවනාමාර්ගය ආවරණය වූ යෝගාවචරයාහට ‘අද විවේක ගෙන සෙට භාවනා කරමි’ යි සිතේ. පසු දිනයෙහි ද ‘අද මේ කටයුත්ත කොට සෙට භාවනා කරමි’ යි සිතේ. එසේ සිතී ඔහු භාවනාවෙහි නොයෙදී අන් කටයුතුවල යෙදෙයි. ඒ ව්‍යාපාදයෙන් කරන ආවරණය ය. සමහර විට එසේ සතිය මාසය භාවනාව නවත්වා අන්තිමේ දී අන් කටයුතු වලට ම බැස සම්පූර්ණයෙන් ම යෝගාවචරයා නිවන් මගින් බැහැර වේ. එසේ නො වන්නට යෝගාවචරයෝ පරෙස්සම් වෙත්වා! ඉතා ම බාධක ව්‍යාපාද නීවරණය, මේ අරති නම් වූ භාවනාව එපාවීමේ ව්‍යාපාදය ය.

අනිකකු විසින් තමාට චෝදනා කළ කල්හි, තමාගේ ගෞරවයට හානි වන පරිදි අවගුණ පැතිර වූ කල්හි, කේලාම් කියා අන්‍යයන් තමා කෙරෙහි කලකිර වූ කල්හි, තමාගේ වැඩ වලට බාධා කළ කල්හි, තමාගේ භාණ්ඩ ගෙන නුසුදුසු සේ පරිහරණය කොට ඒවා නරක් කළ කල්හි, තමාට ලැබෙන ලාභ නැති කළ කල්හි, තමා වාසය කරන තැන අපවිත්‍ර‍ කළ කල්හි, ආචාර්ය්‍යෝපාධ්‍යායාදීන්ට අවමානයක් කළ කල්හි, මාපියාදීන්ට අවමානයක් අලාභයක් කළ කල්හි, කෝපයක් ඇති වේ. ඒ ව්‍යාපාද නීවරණය ය. හික්මීමක් නැති පුද්ගලයෝ එබඳු අවස්ථාවලදී අනුන්ට බැණ අත්පාවලින් පහර දී සමහර විට දඬු මුගුරු හා ආවුධ ද පාවිච්චි කොට අනුන්ට පීඩා කොට තුමූ ද අමාරුවට පත් වෙති. හික්මීමක් ඇති යෝගාවචරයන් එසේ කෝලාහල නො කරතත් ඒ ව්‍යාපාදය එකෙණෙහි ම දුරු කර නො ගතහොත් ඔවුනට එය භාවනාව ආවරණය කරන්නක් වේ. භාවනාවෙහි යෙදෙන්නට වන් කල්හි සිත භාවනාරම්මණයෙහි නො පැවතී තමන්ට කළ වරදට හා එය කළ පුද්ගලයා දෙසටත් නැවත නැවත හැරෙන්නට පටන් ගනී. ඒ කෝපය දුරු කර ගන්නා තුරු ඔහුට සමාධියක් නො ලැබේ. ලබා ඇති සමාධියක් හෝ ඥාන විශේෂයක් තිබුණේ නම් ව්‍යාපාදය නිසා එය ද පිරි හේ.

ඇතැමුන්ට තමන්ට කිසි සම්බන්ධයක් නැති රටේ වෙසෙන අන්‍යයන් කරන වරදවල් ගැන සියුම් ද්වේෂයක් ඇති වේ. එද ව්‍යාපාද නීවරණය ය. සියුම් බැවින් එය ව්‍යාපාදයක් වශයෙන් ඔවුනට නො දැනේ. ඒ සියුම් ද්වේෂය බෙහෙවින් ඇති වන්නේ ප්‍ර‍තිපත්ති ගරුක පුද්ගලයන්ට ය. භාවනාව සඳහා වනගත වී සිටින සික පද අකුරට ම පිළිපදන සිල්වත් ඇතැම් යෝගීන්ට අනුන්ගේ වරද සම්බන්ධයෙන් ඇතිවන ඒ සියුම් ව්‍යාපාදය ආවරණයක් වන්නේ ය. ඇතැම් යෝගීහු “අසවල සල්ලාලයෙක, පරස්ත්‍රීන් දූෂණය කරන්නෙක, සොරෙක, මුදල් රවටා ගැනීමට පින්කම් කරන්නෙක, සඟසතු දෙය පැහැර ගන්නෙක, අසවල් භික්ෂුව බුදුන් වැඳීම පවා නො කරන්නෙක, අසවල් භික්ෂුව මුදල් සැපයීමෙහි යෙදී සිටින්නෙක, අසවල් භික්ෂුව රහසේ කම්සැප විඳින්නෙක, මත්පැන් පානය කරන්නෙක, අසවල් භික්ෂුව සිල් පෙන්වා ලොව රවටන්නෙක, අසවල් පන්සලේ අය මේ මේ වැරදි වැඩ කරන්නාහ”යි අනුන්ගේ වරද ගැන නිතර සිතමින් හමුවන අය හා අනුන්ගේ වරදවල් ගැන කතා කරමින් කල් යවති. ශාසනය ශුද්ධ කිරීම ගැන සිතති. කතා කරති. ඒ සියුම් ද්වේෂය ප්‍ර‍හාණය නො කළ හොත් ඔවුනට සමාධියක් ඇති නො වේ. විදර්ශනාව ද දියුණු නො වේ. ඒ ද්වේෂය ඇති පුද්ගලයා භාවනාවට වන් කල්හි ඔහු ගේ සිත භාවනාරම්මණයෙහි නො පවතී. වරද කරන අනුන් කරා ම ඔහුගේ සිත නැවත නැවත යන්නේ ය. ඒ නිසා භාවනා දියුණුවක් ඔහුට නො වේ. මේ කාරණය සඳහා තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදරා ඇත්තේ ය.

“පරවජ්ජානුපස්සිස්ස-නිච්චං උජ්ඣානසඤ්ඤිනෝ,

ආසවා තස්ස වඩ්ඪන්ති-ආරා සෝ ආසවක්ඛයා.”

“අනුන්ගේ වරද සොයන ස්වභාවය ඇත්තා වූ නිතර අනුන්ගේ දොස් කියන්නා වූ පුද්ගලයා හට ආශ්‍ර‍වයෝ වැඩෙන්නාහ. ධ්‍යානාදීන් අතුරෙන් එක ධර්මයකුදු ඔහුට නො වැඩෙන්නේ ය. එබැවින් ඔහු අර්හත්වයෙන් දුර සිටින්නෙක” යනු ඒ ගාථාවේ තේරුම ය.

ව්‍යාපාදය ඇතිවීමේ හේතු.

“අත්ථි භික්ඛවේ පටිඝ නිමිත්තං, තත්ථ අයෝනිසෝ මනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා ව්‍යාපාදස්ස උප්පාදාය උප්පන්නස්ස වා ව්‍යාපාදස්ස භීය්‍යෝ භාවාය වේපුල්ලාය.”

“මහණෙනි, ප්‍ර‍තිඝ නිමිත්තක් ඇත. එය පිළිබඳව නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම් බහුල බව නූපන් ව්‍යාපාදයේ ඉපදීමටත් උපන් ව්‍යාපාදයේ වැඩීමට හා දියුණුවටත් හේතුවය” යනු ඉහත දැක්වූ පාඨයේ තේරුම ය.

එය ප්‍ර‍තිඝනිමිත්තය යි කියනුයේ ද්වේෂයට හා එයට අරමුණු වන කරුණුවලට හා පුද්ගලයන්ට ය. නුසුදුසු ලෙස වැරදි ලෙස මෙනෙහි කිරීම ගැන කලින් කියා ඇත. යම් කිසිවකු සම්බන්ධයෙන් පළමු ඇතිවන කෝපය නිසා පසුව නැවත නැවත දියුණුවෙමින් කෝපය ඇති වේ. එබැවින් පළමු ඇතිවන කෝපයත් කෝපයට හේතුවක් වේ. වරක් කෝපය ඇති වූ කල්හි එයින් විය හැකි අන්තරාය ගැන සලකා එය ප්‍ර‍හාණය කිරීමට උත්සාහ නො කොට එය පිළිගෙන තමා කෙරෙහි තබා ගතහොත් සමහර විට ඒ කෝපය වැඩේ. රවා බලන තරමට ඇති වූ කෝපය පරුෂවචන කියන තරමටත්, පරුෂ වචන කියන තරමේ කෝපය අතින් පයින් පහර දෙන තරමටත්, අතින් පයින් පහර දෙන කෝපය ගල්වලින් පොලුවලින් පහර දෙන තරමටත්, අන්තිමේදී ආයුධ අතට ගන්නා තරමටත් දියුණු වේ. වරද කරන පුද්ගලයන් ද පුද්ගලයන් වශයෙන් නො සලකා සංස්කාර ධර්ම සමූහයන් වශයෙන් සලකත හොත් අනිත්‍යාදි වශයෙන් සලකත හොත් පළමු කෝපය ද ඇති නො වේ. කෝපය ඇති වන්නේ පුද්ගලයන් වශයෙන් හා නිත්‍යාදි වශයෙන් සැලකීමෙනි. පුද්ගලයන් වශයෙන් නිත්‍යාදි වශයෙන් සැලකීම නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම ය.

ව්‍යාපාද ප්‍ර‍හාණය.

“අත්ථි භික්ඛවේ, මෙත්තා චේතෝවිමුක්ති, තත්ථ යෝනිසෝමනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා ව්‍යාපාදස්ස අනුප්පාදාය, උප්පන්නස්ස වා ව්‍යාපාදස්ස පහාණාය, භීය්‍යෝභාවාය න වේපුල්ලාය.”

“මහණෙනි, මෙත්තා චේතෝවිමුක්තියක් ඇත. එය පිළිබඳව සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව නූපන් ව්‍යාපාදය නො ඉපදීමටත් උපන් ව්‍යාපාදය දුරුවීමටත් නො වැඩීමටත් නො දියුණුවීමටත් හේතු වේය යනු එහි තේරුම ය.

අන්‍යයන්ට හිතවත් බව මෙත්තා නමි. එයින් යුක්ත වූ සිත නීවරණාදියෙන් මිදී ඇති බැවින් මෙත්තාචේතෝ විමුක්ති නමි. එනම් මෛත්‍රී සහගත සිත ය. නිතර එය පවත්වා ගැනීමට සිතීම එහි අනුසස් සිතීම මෙත්තා චේතෝවිමුක්තිය පිළිබඳව සුදුසු පරිදි සිතීම ය.

“ඡ ධම්මා ව්‍යාපාදස්ස පහාණාය සංවත්තන්ති, මෙත්තානිමිත්තස්ස උග්ගහො, මෙත්තාභාවනානුයෝගෝ, කම්මස්සකතා පච්චවෙක්ඛණා, පටිසඞ්ඛාන බහුලීකතා, කල්‍යාණමිත්තතා, සප්පාය කථා.”

යනුවෙන් ව්‍යාපාදය දුරුවීමේ හේතු සයක් අටුවාවල දක්වා ඇත්තේ ය. මෛත්‍රීකර්මස්ථානය උගෙනීම, උගත් මෛත්‍රිය නැවත නැවත පැවැත්වීම, කර්මය තමා අයත් දෙය වන බව මෙනෙහි කිරීම, දෙදෙනාට ම කර්මය හිමි බව සිහි කොට කර්ම කර්ම ඵල දක්නා නුවණින් යුක්ත වීම අස්සගුත්ත තෙරුන් වහන්සේ වැනි මෛත්‍රීභාවනාව බොහෝ කොට කරන කල්‍යාණමිත්‍ර‍යන් ඇති බව, සුදුසු කථා ඇති බව යනු ඒ කරුණු සය ය.

මෙහි මෛත්‍රීකර්මස්ථානය උගෙනීමය යි කියන ලදුයේ උපචාර සමාධය ඇති වන තුරු පූර්වභාගයෙහි කරන මෛත්‍රී භාවනාවට ය. කර්මය තමා අයත් දෙය වන බව මෙනෙහි කිරීමය යනු මම මාගේ කර්මයෙන් ම මෙලොව ඉපද මාගේ කර්මයෙන් ම පරලොව යන්නේ වෙමි. ඔහු ගැන මා කිපුණේ ද එයින් ඔහුට වන හානියක් නැත. ඒ ඔහු ගේ ශීලාදිය මට නැසිය නො හැකි ය. මා කිපුණහොත් එහි විපාකය හිමි වන්නේ ඔහුට නො ව මට ය. ඔහු මට වරදක් කෙළේ ය. අලාභයක් කෙළේ ය කියා මා කිපුණ හොත් එය මා විසින් මට ම තවත් වරදක් කර ගැනීම ය. තවත් හානියක් කර ගැනීම ය. වරද කළ අනුන්ට කිපීම නම් ගිනි අඟුරු හෝ අසූචි අතට ගෙන අනුන්ට පහර දීමට තැත්කිරීම වැනිය යනාදීන් කර්මය තමා අයත්වන බව මෙනෙහි කිරීම ය. තමා ගැන අනුන් කිපුණු විට ද මොහුගේ කිපීමෙන් මට වන හානියක් නැත. මාගේ ශීලාදිය ඔහුට නො නැසිය හැකි ය, කර්ම විපාක ඔහුට ද ඇත්තේ ය, කිපීමේ විපාකය ඔහුට ම වන්නේ ය යනාදීන් අනුන් ද කර්මය අයත් කොට ඇතියවුන් බව මෙනෙහි කළ යුතු ය. එසේ කරන කල්හි නූපන් ව්‍යාපාදය නූපදී. උපන් ව්‍යාපාද ද දුරු වේ.

අස්සගුත්ත තෙරුන් වහන්සේ මේ බුදුසස්නෙහි මෛත්‍රියෙන් වාසය කරන භික්ෂූන්ගෙන් අගතැන්පත් රහතන් වහන්සේ ය. බුදුරදුන් ජීවමාන කාලයේ රජගහ නුවර සකුලුදායි නම් පිරිවැජියෙක් විසුවේ ය. ඔහු පිරිවැජි පිරිසක නායකයෙකි. බුදුරජාණන් වහන්සේ ඔහුට දෙවරක් දහම් දෙසූ සේක. චූළසකුලුදායි සූත්‍ර‍ය හා මහා සකුලුදායී සූත්‍ර‍ය ඔහුට දේශනය කළ ධර්මයෝ ය. දහම් ඇසුව ද ඔහු මඟපලයකට නො පැමිණියේ ය. චූළසකුලුදායි සූත්‍ර‍ය ඇසීමෙන් ඔහු බුදු සස්නෙහි පැහැදී තෙරුවන් සරණ ගොස් තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියේ ය. ඔහුගේ ශ්‍රාවකයන් විසින් ඔහුට බුදුසස්නෙහි පැවිදිවීමට ඉඩ නොදෙන ලදි. බුදුරදුන් හමුවී දහම් අසන්නටත් ලැබී, පැවිදිවීමටත් කැමැත්ත ඇති වී ඔහුට එය වැළකී ගියේ අතීත අකුශල කර්මයකිනි. පෙර සකුලුදායි කාශ්‍යප බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදිව විසුවේ ය. ශාසනයෙහි උකටලී වූ ඔහු ගේ මිත්‍ර‍ භික්ෂුවක් තමා සිවුරු හැර යන්නට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු ට කීයේ ය. සකුලුදායි ඒ භික්ෂුවගේ පාසිවුරුවලට ලෝභ කොට සිවුරු හැර යාමේ ගුණ වර්ණනා කෙළේ ය. ඒ භික්ෂුව පාසිවුරු සකුලුදායි භික්ෂුවට දී සිවුරු හැර ගියේ ය. සකුලුදායිගේ පැවිදිවීම වැළකී ගියේ ඒ පාපකර්මය නිසා ය.

තථාගතයන් වහන්සේ දෙවරක් ම ඔහුට දහම් දෙසූයේ අනාගතයෙහි සකුලුදායි මේ සස්නෙහි පැවිදිව මෛත්‍රියෙන් වාසය කරන භික්ෂූන් ගෙන් අග්‍ර‍වන බව දැකීමෙනි. එබැවින් උන් වහන්සේ නොයෙක් කරුණු සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා අග්‍ර‍ස්ථානයෙහි තබා වදාළ නුමුත් මෛත්‍රී විහාරීන්ගෙන් අග්‍ර‍ස්ථානයෙහි භික්ෂුවක් නො තැබූහ. සකුලුදායි පිරිවැජි තෙමේ ධර්මාශෝක රජුගේ කාලයේ දී පැළලුප් නුවර කුල ගෙයක ඉපිද පැවිදිව සව්කෙලෙසුන් නසා රහත්ව අස්සගුත්ත නම් තෙරුන් වහන්සේ විය. උන්වහන්සේ මෛත්‍රියෙන් වාසය කරන්නවුන්ගෙන් අග්‍ර‍ වූහ. දඹදිව සියලු භික්ෂූන්ගෙන් අවවාදාචාර්ය වී වත්තනිය නම් වූ අරණ්‍ය සේනාසනයෙහි විසූහ. උන්වහන්සේගේ මෛත්‍රී බලයෙන් තිස්යොදුනක් පමණ වූ වත්තනිය වනයේ වෙසෙන තිරිසන් සත්ත්වයෝ ද ඔවුනොවුන් කෙරෙහි මෙත්සිත් ලැබූහ. තිස් යොදුනක් පමණ වූ ඒ වනය එක ම භාවනා ස්ථානයක් විය. පිරිස බොහෝ බැවින් උන්වහන්සේ අහසෙහි සම්කඩ අතුරා එහි වැඩ සිට ඔවුනට කමටහන් කියා දුන්හ. කල් යාමෙන් ශ්‍රාවකයන් වැඩි වීම නිසා තෙරුන් වහන්සේ පිඬු පිණිස ද පිටත නො ගොස් එහි ම වෙසෙමින් කමටහන් කියා දීමෙහි යෙදුණහ. ධර්මාශෝක නරේන්ද්‍ර‍තුමා තෙරුන් වහන්සේගේ ගුණ අසා උන් වහන්සේ වැඩම කරවා ගැනීම සඳහා තෙවරක් දූතයන් යැවී ය. භික්ෂුසඞ්ඝයාට අනුශාසනය කිරීම කඩවන බැවින් තෙරුන් වහන්සේ රජුගේ ආරාධනාවට ද නො වැඩියහ. මේ කථාව චූළසකුලුදායි සූත්‍ර‍ අටුවාවෙහි සඳහන් වේ.

ව්‍යාපාදය ඇති නො වීමට සුදුසු කථා නම් මෛත්‍රියෙහි අනුසස් පිළිබඳ වූ ද, කෝපයෙහි ආදීනව පිළිබඳ වූ ද, ඉවසීමේ අනුසස් පිළිබඳ වූ ද කථා ය. එබඳු කථා කිරීමෙන් හා කරනවා ඇසීමෙන් ද ව්‍යාපාදය දුරු වේ. ව්‍යාපාද නීවරණය ඇති නො වීම පිණිස මෙනෙහි කළ යුතු ධර්ම මෙතැන් පටන් දක්වනු ලැබේ.

කකචූපම අවවාදය

“උභතෝ දණ්ඩකේන පි භික්ඛවේ කකචේන චෝරා ඕචරකා අඞ්ගමඞ්ගානි ඕකන්තෙය්‍යුං, තත්‍රා පි යෝ මනෝ පදූසෙය්‍ය න මේ සෝ තේන සාසනකරෝ,”

(කකචූපම සුත්ත)

“මහණෙනි, නීච පැවතුම් ඇත්තා වූ සොරු තොප අල්ලා තොපගේ ශරීරාවයවයන් හරස් කියතින් කපත් නම් මේ භික්ෂුවක් එකල්හි ද ඔවුන්ට කිපේ නම් හෙතෙමේ මාගේ අනුශාසනය අනුව පිළිපදින්නේ නො වේ ය යනු එහි තේරුම ය. මෙයින් භාග්‍යවතුන් වහන්සේ ප්‍ර‍කාශ කරන්නේ කොතරම් මහත් අපරාධයක් වුව ද කරන සතුරකුට නො කිපිය යුතු බව ය. මේ දේශනය සිහි කොට යෝගාවචරයන් විසින් මම තමන් වහන්සේ නසන්නට අවි ගෙන එන සතුරන් කෙරෙහි ද, මෙත්සිත පවත්වා ඔවුන්ටත් යහපතක් සිදු කළ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයකු වන මට කිනම් කරුණකදී වුව ද කිපීම සුදුසු නැතැය”යි සිතිය යුතු ය. නැවත නැවත සිතිය යුතු ය.

නො කිපීමේ අනුසස්

1. තස්සේව තේන පාපියෝ - යෝ කුද්ධං පටිකුජ්ඣති

කුද්ධං අප්පටිකුජ්ඣන්තෝ - සඞ්ගාමං ජේති දුජ්ජයං.

.

2. උභින්නමත්ථං චරති - අත්තනෝ ච පරස්ස ච

පරං සංකුපිතං ඤත්වා - යෝ සතෝ උපසම්මති.

.

3. උභින්නං තිකිච්ඡන්තානං - අත්තනෝ ච පරස්ස ච,

ජනා මඤ්ඤන්ති බාලෝති - යේ ධම්මස්ස අකෝවිදා.

(බ්‍රාහ්මණ සංයුත්ත)

තේරුම:-

  1. යමෙක් තමාට කිපුණහට පෙරළා කිපේ නම් හෙතෙමේ පළමු කිපුණහුට ද වඩා පාපියෙකි. කිපුණහුට පෙරළා නො කිපෙන සත්පුරුෂ තෙමේ දිනීමට දුෂ්කර වූ සඞ්ග්‍රාමයකින් දිනයි.
  2. යම් සත්පුරුෂයෙක් අනුන් කිපුණු බව දැන සිහියෙන් යුක්තව තමා නො කිපී සිටින්නේ නම් හෙතෙමේ තමාගේ ද අන්‍යයාගේ ද යන දෙදෙනාගේ ම යහපත පිණිස පිළිපදින්නේ වේ.
  3. කිපුණහුට පෙරලා නො කිපීම් වශයේ තමාගේ ද අනිකාගේ ද යන දෙදෙනාගේ ම යහපත සිදු කරන්නා වූ සත්පුරුෂයා මෝඩයකැයි ධර්මය නො දන්නෝ සිතති.

ක්‍රෝධයේ ආදීනව

1. කෝධසම්මදසම්මත්තෝ - ආයසක්‍යං නිගච්ඡති,

ඤාතිමිත්තා සුහජ්ජා ච - පරිවජ්ජෙන්ති කෝධනං.

.

2. අනත්ථජනනෝ කෝධෝ - කෝධෝ චිත්තපකෝපනෝ,

භයමන්තරතෝ ජාතං - තං ජනෝ නාවබුජ්ඣති.

.

3. කුද්ධෝ අත්ථං න ජානාති - කුද්ධෝ ධම්මං න පස්සති

අන්ධන්තමං තදා හෝති - යං කෝධෝ සහතේ නරං.

(අංගුත්තර සත්තක නිපාත)

  1. ක්‍රෝධ නමැති මදයෙන් මත් වූයේ අයසට පැමිණේ. ක්‍රෝධ කරන්නහු නෑ මිතුරෝ ද හොඳහිත් ඇත්තෝ ද වර්ජනය කෙරෙති.
  2. ක්‍රෝධය අනර්ථ ඇති කරන්නකි, ක්‍රෝධය සිත කෝප කරන්නකි, එය තමා තුළින් ම හටගත් භයෙකි. එය ජනයා තේරුම් නො ගනී.
  3. කිපුණ පුද්ගල තෙමේ දියුණුව නො දකී, කිපුණු පුද්ගල තෙමේ ධර්මය නො දකී. යම් මිනිසකු ක්‍රෝධය අභිභවනය කෙරේ ද එකල ඔහුට ඝනාන්ධකාරයක් වේ.

සිහි කළ යුතු කරුණු

බෝධිසත්ත්ව චරිත සිහි කිරීම ද ව්‍යාපාදය අඩුවීමට හා දුරුවීමට හේතු වේ. සීලව ජාතකය, ක්ෂාන්තිවාදි ජාතකය, චූළධම්මපාල ජාතකය, ඡද්දන්ත ජාතකය, මහාකපි ජාතකය, භූරිදත්ත ජාතකය, චම්පෙය්‍ය ජාතකය, සඞ්ඛපාල ජාතකය යන ජාතක කථා මෙනෙහි කළ යුතු ය. තව ද පුණ්ණ තෙරුන් වහන්සේගේ කථාව මෙනෙහි කිරීම ද සුදුසු ය. එය මජ්ඣිම නිකායේ පුණ්ණෝවාද සූත්‍රයෙහි ඇත. ඒ කථාව ශාසනාවතරණය නමැති ග්‍ර‍න්ථයේ ද ඇත.

මානය ද ව්‍යාපාදයට එක් හේතුවකි. කුලය ධනය උගත්කම තනතුරු යන මේවා නිසා උඩඟුව සිටින ඇතැම්හු සෙස්සන් තමන්ට ගරු කළ යුතු ය, යටත් විය යුතුය කියා සිතති. එය එසේ නො වන කල්හි ඔවුහු කිපෙති. මානය තුනී කර ගැනීම පිණිස මෙහි දක්වා ඇති විජය සූත්‍ර‍ය සිහි කිරීම යහපති.

ථීනමිද්ධ නීවරණය

නීවරණ පස අතුරෙන් යෝගාවචරයන්ට වඩා බාධා කරන්නේ, නිතර බාධා කරන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ දෙකිනි. තේරුම් ගැනීම දුෂ්කර වන්නේ ථීනමිද්ධ නීවරණය ය.

අභිධර්මයේ සැටියට කියත හොත් ථීන යනු එක් චෛතසිකයෙකි. මිද්ධ යනු තවත් චෛතසිකයෙකි. ථීන යනු සිත දුබල කරන, පණ නැති කරන, හකුළු වන, ක්‍රියාවෙහි ඉදිරියට යන්නට නොදී එතැන ම තබන, නවත්වන ධර්මයෙකි. මිද්ධ යනු චෛතසිකයන්ට එසේ කරන ධර්මයෙකි. ඒ චෛතසික දෙක සැම කල්හි ම එක් සිතක එකට ඇති වෙනවා මිස කිසි කලෙක එකිනෙක වෙන්ව ඇති නොවේ. එබැවින් ආභිධර්මිකයන්ට ද පොත්වල ලියා ඇති සැටියට වෙන් වෙන් වූ චෛතසික දෙකක් සැටියට පිළිගන්නවා මිස වෙන් කොට තේරුම් ගත නො හැකි ය. සිත ගැන විමසන, සිත පිරිසිදු කර ගැනීමට වෙර වඩන, යෝගාවචරයන්ට ද එක ම ස්වභාවයක් වශයෙන් මිස ඒ දෙක වෙන වෙනම තේරුම් ගත නො හැකි ය. ඒ චෛතසික දෙකෙන් ම සිදු කරන දෙයත් එක ම ය. එබැවින් තථාගතයන් වහන්සේ ඒ ධර්ම දෙක නීවරණ දෙකක් සැටියට නො වදාරා ථීනමිද්ධ නීවරණය යි එක් නීවරණයක් ලෙස වදාළ සේක.

ථීනමිද්ධ දෙක තුදුස් අකුශල චෛතසිකයන්ගෙන් දෙකකි. ඒවා අකුශල චිත්තයෙහි මිස කුශල චිත්තයෙහි කිසි කලෙක ඇති නො වේ. භාවනා කරන්නේ කුශල චිත්තයෙනි. එහි කිසි කලෙක අකුශල චෛතසික වූ ථීනමිද්ධයෝ ඇති නො වෙති. සිත කය දෙක නිශ්චලව තබා ගැනීමේ පුරුද්දක් නැති තැනැත්තාට එක් ඉරියව්වකින් නිශ්චලව ඉන්නා කල්හි ථීනමිද්ධය නැඟ එයි. භාවනාවෙන් වෙහෙසට පත් වූ කල්හි ද ථීනමිද්ධය නැග එන්නේ ය. ථීනමිද්ධ සහගත සිත් ඇති වන්නේ භාවනා සිත්වලට අතර ය. ඒවා ඇති වන්නට පටන් ගත් කල්හි ඒ සන්තානයෙහි ඇතිවන භාවනා චිත්තය ද දුබල වේ. එබැවින් යෝගාවචරයා නැවති නැවතී භාවනා කරයි. ඔහුට භාවනාරම්මණයෙහි සිත පැවැත්වීම මහ බරක් සේ දැනේ. අමාරුවෙන් සිත භාවනාවෙහි යෙදවුව ද නැවත නැවත නවතින්නට පටන් ගනී. සමහර විට ථීනමිද්ධය නිසා යෝගාවචරයා නින්දට වැටේ. ඇතැම් යෝගාවචරයෝ ඒ නින්දට වැටීම සමාධි වීමකැ යි රැවටෙති. “සමාධිමුඛෙන ථීනමිද්ධං වඤ්චේති” යනුවෙන් සමාධියේ ආකාරයෙන් ථීනමිද්ධය යෝගාවචරයන් රවටන බව නෙත්ති අටුවාවෙහි දක්වා ඇත්තේ ය. සමාධියේ ආකාරයෙන් ඇති වන ඒ නින්දෙහි එක්තරා රසයක් ඇත්තේ ය. ඒ නිසා ඇතැම් යෝගාවචරයෝ සමාධි වෙමි යි සිතා ඕනෑ කමින් ම වාඩි වී නින්දට වැටෙති. ඔවුහු නො දැනීම නිසා ඒ ථීනමිද්ධය ප්‍ර‍හාණය කිරීමට උත්සාහ නො කරති. සමාධි රූපයෙන් එන නින්ද සමාධියට බාධාවකි. සමාධි වෙමි යි සිතා නින්ද වඩන යෝගාවචරයන්ට කිසි කලෙක සමාධියක් නො ලැබිය හැකිය. දැනට සමාධි වෙමියි කියා වාඩි වී නිශ්චල වන යෝගාවචරයෝ මේ ගැන විශේෂයෙන් කල්පනා කෙරෙත්වා!

යෝගාවචරයාහට යම් අවස්ථාවකදී සිත භාවනාවෙහි යෙදවීම, මහ බරක් ගෙන යාමක් සේ දැනෙනවා නම්, ඔහුගේ භාවනා චිත්තය නැවති නැවතී පවතිනවා නම්, ඇසි පිය බර වෙනවා නම්, ඇස් පියවෙනවා නම් ඇඟ පණ නැති වෙනවා නම්, ඇඟ ඒ මේ අතට බර වෙනවා නම්, නැමෙනවා නම් ඒ සිදුවන්නේ ථීනමිද්ධයෙකැයි දත යුතු ය. ඒවා සිදු වීම ථීනමිද්ධයෙන් කරන භාවනා මාර්ගය වැසීම ය. ථීනමිද්ධ නීවරණය තේරුම් ගත යුත්තේ එයින් සිදුවන කරුණුවලිනි.

නින්ද සැමට ම වුවමනා දෙයකි. එබැවින් සකල සත්ත්වයෝ ම නිදති. ඒ ස්වභාවික නින්ද ථීනමිද්ධයෙන් සිදුවන්නක් නොවේ. සකල ක්ලේශයන් ප්‍ර‍හාණය කළ රහතුන්ට ද ස්වභාවික නින්ද ඇත. ථීනමිද්ධ නිසා ඇතිවන නින්ද ස්වභාවික නින්දට අතිරේක වශයෙන් ඇති වන්නකි.

ථීනමිද්ධ ඇතිවීමේ හේතු

“අත්ථි භික්ඛවේ, අරති තන්දි විජම්භිතා භත්තසම්මදෝ චේතසෝ ලීනත්තං, තත්ථ අයෝනිසෝ මනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා ථීනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථීනමිද්ධස්ස භීයෝභාවාය වේපුල්ලාය.”

“මහණෙනි, පිළිවෙත් පිරීමෙහි නො සතුටු බවය, ශරීරයේ අලස බව ය. ශරීරය ඒ මේ අතට නැමීම ය, ආහාරයෙන් වන මතය, සිතෙහි හැකිළෙන බව ය යන මේවා ඇත. ඒවා ගැන නුසුදුසු පරිදි මෙනෙහි කිරීම නූපන් ථීනමිද්ධයේ ඉපදීමට ද උපන් ථීනමිද්ධයේ වැඩීමට හා දියුණුවට ද හේතුවය” යනු එහි තේරුම ය.

පිළිවෙත් පිරීමෙහි නො සතුට ඇඟමැලි බව යනාදිය ඇති වූ කල්හි ඒවා ථීනමිද්ධය නිසා හට ගන්නා බාධක ධර්ම ලෙස, ආගන්තුක ධර්ම ලෙස, නැති කර ගතයුතු ධර්ම ලෙස නොසලකා: මා සතුටු නැත, මට සතුටක් නැත, මට පණ නැත, මාගේ ඇඟට පණක් නැත යනාදීන් ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් සිතන්නහුට නූපන් ථීනමිද්ධය උපදී. උපන් ථීනමිද්ධය වැඩේ.

ථීනමිද්ධ දුරුවීමේ හේතු

“අත්ථි භික්ඛවේ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු තත්ත යෝනිසෝමනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා ථීනමිද්ධස්ස අනුප්පාදාය, උප්පන්නස්ස වා ථීනමිද්ධස්ස න භීය්‍යෝභාවාය න වේපුල්ලාය.”

“මහණෙනි, පළමු ඇති වන වීර්ය්‍යයක් ද එයට බලවත් වීර්ය්‍යයක් ද බාධා මැඩ ඉදිරියට ම යන බලවත් වීර්ය්‍යයක් ද ඇත. එය සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව නූපන් ථීනමිද්ධයේ නො ඉපදීමට ද උපන් ථීනමිද්ධය නො වැඩීමට හා නො දියුණු වීමට ද හේතුවය” යනු එහි තේරුම ය. වීර්ය්‍යය ගැන සුදුසු පරිදි මෙනෙහි කිරීමය යනු වීර්ය්‍යයේ අනුසස් මෙනෙහි කිරීම ය.

“ඡ ධම්මා ථීනමිද්ධස්ස පහාණාය සංවත්තන්ති අතිභෝජනේ නිමිත්තග්ගාහෝ, ඉරියාපථසම්පරිවත්තනතා, ආලෝකසඤ්ඤා මනසිකාරෝ, අබ්භෝකාස වාසෝ, කල්‍යාණමිත්තතා, සප්පායකථාති.”

යනුවෙන් අටුවාවල ද ථීනමිද්ධ දුරු වීමේ හේතු සයක් දක්වා ඇත. ආහාර ගැනීම ගැන දැනීමය, ඉරියව් වෙනස් කිරීමය, ආලෝකයන් මෙනෙහි කිරීමය, එළිමහනේ විසීමය, කල්‍යාණමිත්‍ර‍යන් ඇති බවය, සුදුසු කථාය යනු ඒ කරුණු සය ය.

බඩ තද වන පරිදි උගුර ළඟට එනතුරු ආහාර වළඳා වාඩිවී භාවනා කරන්නට වන් කල්හි හිස මත මහ බරක් පටවන්නාක් මෙන් ථීනමිද්ධය නැඟ එන්නේ ය. පමණට ආහාර වළඳා භාවනාවට පටන් ගත් යෝගාවචරයාහට ඉක්මනින් ථීනමිද්ධය නො එන්නේ ය. මෙ පමණ ආහාරයෙන් ථීනමිද්ධය ඇති වන්නේ ය. මෙපමණ ආහාර ගත් කල්හි ථීනමිද්ධය නො එන්නේ ය යි දැන ක්‍රියා කරන යෝගාවචරයා හට ථීනමිද්ධය ඇති නො වේ. භාවනාව සතර ඉරියව්වෙන් ම කිරීම සුදුසු ය. එක් ඉරියව්වකින් භාවනා කරන කල්හි ථීනමිද්ධය ඇති වුවහොත් ඉරියව්ව වෙනස් කිරීමෙන් එය දුරු කර ගත හැකි ය. රාත්‍රී කාලයේ හෝ දවල් කාලයේ හෝ ථීනමිද්ධය ඇති වුවහොත් ඒ වෙලාවට ඇති ආලෝකයක් බලා මඳ වේලාවක් එය මෙනෙහි කිරීමෙන් ද ථීනමිද්ධය දුරු වේ. ථීනමිද්ධයෙන් තොරව නො නිදා වැඩ කරන වීර්ය්‍යවත් කල්‍යාණ මිත්‍ර‍යන් සේවනය කිරීමෙන් ද ථීනමිද්ධය දුරු වේ. ධුතඞ්ගයන් පිළිබඳ වූ ද, වීර්ය්‍යය පිළිබඳ වූ ද, නො නිදා සිටීම පිළිබඳ වූ ද, කථා ඇසීම හා කිරීමත් ථීනමිද්ධ දුරු වීමේ හේතුවකි.

පාඩම් ඇති ධර්මයක් සජ්ඣායා කිරීම සක්මන් කිරීම ඇමදීම ආදි කයින් කරන වැඩක යෙදීම, ඇල් දියෙන් මුහුණ අත් පා සෝදා ගැනීම, නෑම යන මේවායින් ද ථීනමිද්ධය දුරු කර ගත හැකි ය. කියන ලද එක් ක්‍ර‍මයකින් වත් එය දුරු කර ගත නො හේ නම් නින්දක් නිදා ගැනීමෙන් එය දුරු කර ගත යුතු ය.

උද්ධච්චකුක්කුච්ච නීවරණය

උද්ධච්ච යනු අකුශල චෛතසිකයෙකි. කුක්කුච්ච යනු ද අකුශල චෛතසිකයෙකි. මේ දෙකින් ම යෝගාවචරයන්ට බාධා කරන්නේ, භාවනා මාර්ගය ආවරණය කරන්නේ සිත නො සන්සුන් කිරීම වූ එක් ආකාරයකිනි. එබැවින් ඒ ධර්ම දෙක එක් නීවරණයක් වශයෙන් වදාරා ඇත්තේ ය.

ථීනමිද්ධ දෙක භාවනාව ආවරණය කරන්නේ එකට ඉපිද එකට බැඳී සිටගෙන ය. උද්ධච්ච කුක්කුච්චයන්ගේ ආවරණය එසේ නො වේ. උද්ධච්ච කුක්කුච්ච දෙක එක්ව සිටගෙන ද ආවරණය කරයි. කුක්කුච්චයේ සම්බන්ධයක් නැතිව උද්ධච්චය පමණක් ද ආවරණය කරයි. කුක්කුච්චය ආවරණයක් වන්නේ යෝගීන්ගෙන් ඉතා ටික දෙනකුට පමණ ය. ඒ ටික දෙනාට වුව ද ආවරණය වන්නේ කලාතුරකිනි. උද්ධච්චය සියලු ම යෝගීන්ට නිතර නිතර බාධා කරන නීවරණයෙකි.

උද්ධච්චය යනු භාවනාවට බැසගත් යෝගාවචරයාගේ චිත්තපරම්පරාව දිගට ම භාවනාවෙහි යෙදීම් වශයෙන් පවතින්නට නො දී භාවනාරම්මණයෙන් පිටත වූ නානාරම්මණයන් කරා චිත්ත පරම්මරාව යවන නානාරම්මණයන් සම්බන්ධයෙන් නානා කරුණු සම්බන්ධයෙන් නොයෙක් සිත් උපදවන ධර්මයෙකි. එක් ආරම්මණයක හෝ එක් අරමුණු කොට්ඨාසයක හෝ සිතට පවතින්නට නො දීම සිත නො සන්සුන් කිරීමය යි ද වික්ෂිප්ත කිරීම යයි ද කියනු ලැබේ. සිත නොසන්සුන් කරන ඒ උද්ධච්චය සමාධියට විරුද්ධ ස්වභාවයෙකි.

අනා පදම් කළ තෙත් මැටි පිඩ උඩ සිට පොළොවට හෙලූ කල්හි පොළොව බදාගෙන නො සැලී සිටින්නාක් මෙන්, සමාධියෙන් යුක්ත සිත පැමිණි ආරම්මණය තදින් ගෙන එහි නො සැලී පිහිටයි. සමාධියේ ආනුභාවයෙන් ඒ සිත් පරම්පරාවෙහි ඉදිරියට ඇතිවන සිත් ද අන් අරමුණු නො ගෙන ඒ අරමුණු ම හෝ ඒ කොටසට අයත් අරමුණු හෝ ගනිමින් ඒවායේ මැනවින් පිහිටමින් උපදී. එබැවින් සමාධිය ඇති යෝගාවචරයාට අතරක් නැතිව බොහෝ වේලාවක් තමාගේ සිත භාවනාරම්මණයෙහි පැවැත්විය හැකි වේ. සුළං පිරවූ පන්දුව බිම හෙලූ කල්හි පොළොව අල්ලා නො ගෙන උඩ පනින්නාක් මෙන් ඇතැම් සිත්, පැමිණි අරමුණ තදින් නො ගෙන එයින් ඉවත් වන ආකාරයෙන් එහි සැලෙන ආකාරයෙන් උපදී. එසේ වන්නේ ඒ සිත්වල ඇති උද්ධච්ච චෛතසිකය නිසා ය. උද්ධච්චයේ ස්වභාවය සිත අරමුණෙන් අරමුණට යැවීම ය. එක් අරමුණක් ගෙන උපන් උද්ධච්ච සහගත සිත ළඟට අන් අරමුණක් ගන්නා උද්ධච්ච සහගත සිතක් උපදී. එයට අනතුරුව තවත් අරමුණක් ගන්නා උද්ධච්ච සහගත සිත් උපදී. සියලුම අකුසල් සිත් උද්ධච්චයෙන් යුක්ත ය. යෝගාවචරයකුට භාවනා කරන කල්හි උපන් උද්ධච්චය දුබල නම් භාවනාරම්මණයෙන් අන්‍යාරම්මණයන් ගන්නා සිත් මඳක් උපදී. ඉන්පසු ඔහුගේ සිත භාවනාරම්මණයට පැමිණේ. උද්ධච්චය බලවත් වූ කල්හි බොහෝ වේලාවක් නානාරම්මණයන් පිළිබඳ සිත් උපදී. එයින් ලබා ඇති සමාධිය ද දුබල වේ. උද්ධච්චය යටපත් කොට සිත භාවනාවට ගත ද ඉක්මනින් පිටතට යේ.

උද්ධච්චය කාමච්ඡන්දාදිය සේ සිතෙන් වෙන් කොට තේරුම් ගත හැකියක් නො වේ. උද්ධච්චය යෝගාවචරයන්ට ඇති ඉමහත් බාධාවෙකි. උද්ධච්ච පීඩාවේ තරම ද භාවනා පුරුදු නො කළ කෙනකුට පොත් කියවා තේරුම් ගත නො හැකි ය. මේ උද්ධච්චය නිසා යෝගාවචරයකුට සිත විනාඩි කීපයක් එක් අරමුණක තැබීම වුව ද අති දුෂ්කර ය.

උද්ධච්චය කාමච්ඡන්දය හා එක්වී යෝගාවචරයාගේ සිත භාවනාරම්මණයෙන් ඉවත් කොට කාම වස්තූන් කරා යවන්නේ ය. ව්‍යාපාදය හා එක් වී යෝගාවචරයාගේ සිත ව්‍යාපාද වස්තූන් කරා යවන්නේ ය. උද්ධච්චය භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාගේ සිත ඔහු හා කිසිම සම්බන්ධයක් නැති ඔහුට කිසි වුවමනාවක් නැති රටේ තොටේ වැඩවලට රටේ වෙසෙන අයගේ හොඳ නරක ගැන අතීත සිදුවීම් ගැන නැවත නැවත යවන්නේ ය. උද්ධච්චය නිසා සමහරවිට යෝගාවචරයාගේ සිත ඔහු කරන භාවනාව සම්බන්ධයෙන් ද වික්ෂිප්ත වන්නේ ය. භාවනාව පටන් ගත් කල්හි මාගේ සමාධිය දැන් දියුණු ය, මට දැන් හොඳ වැටහීමක් ඇත ය, මාගේ තත්ත්වය අසවල් අසවල් අය හා සාකච්ඡා කළ යුතු ය, ඔවුන්ගේ තතු විමසන්නට ඕනෑය යනාදි සිත් ඇතිවීම භාවනාව සම්බන්ධයෙන් වන වික්ෂේපය ය. එබඳු වික්ෂේපයක් වේ නම් එය උද්ධච්චය නිසා වන්නක් බව තේරුම් ගෙන එය දුරු කර ගන්නට වෑයම් කළ යුතු ය. වික්ෂිප්ත වීම උද්ධච්චයේ ක්‍රියාවක් බව නො තේරෙන යෝගාවචරයාහට උද්ධච්චය දියුණු වේ.

කරන ලද පව්කම් සම්බන්ධයෙන් හා කළ හැකි අවස්ථාවේදී නො කර, අවස්ථාව ඉක්ම ගිය කුශලයන් සම්බන්ධයෙන් පසු කාලයේ දී ඇතිවන තැවීම - දුක්වීම කුක්කුච්ච නම් වේ. කෙලෙසුන් නැඟී සිටින කල්හි ඒ කෙලෙසුන්ට වසඟ වූ පුද්ගලයාට පව්කම් කිරීම මිහිරිය. නැඟී සිටි කෙලෙසුන් සන්සිඳී ගිය පසු, වරද තේරුම් ගැනීමේ නුවණ පහළ වූ පසු පව් කළවුන්ට කළ වරද - කළ අපරාධ සම්බන්ධයෙන් “මා විසින් කළේ වරදෙක, මට වූයේ වැරදීමක” කියා පසුතැවිල්ලක් ඇති වේ. ඒ තැවිල්ල තුනුරුවන්ට මාපියන්ට පැවිද්දන්ට ගුණවතුන්ට වරද කළවුන්ට හා මිනීමැරීම් ස්ත්‍රීන් අනාථ කිරීම් අනුන්ගේ දේපොල පැහැර ගැනීම් ආදී බලවත් අපරාධ කළවුන්ට වඩා ම ඇති වේ. කෙලෙසුන්ට වසඟවීම නිසා කළ යුතු කළ හැකි අවස්ථාවේ දී මාපියන්ට සැළකීම් දන්දීම් පෙහෙවස් විසීම් ආදී පින්කම් නො කොට අවස්ථාව ඉක්ම වූ පුද්ගලයන්ට කෙලෙස් සන්සිඳී නුවණ පහළ වී කාරණය තේරුම් ගත් පසු නො කොට හළ කුශලයන් සම්බන්ධයෙන් කුක්කුච්චය ඇති වේ. විනය නූගත් පැවිද්දන්හට කැපදෙයක සිතා අකැප වැඩ කොට කළ දෙය අකැප වැඩකැයි දැන ගස් පසු ද, කැප දෙයක් කොට පසු කාලයේ දී කළ දෙය අකැප දෙය යන හැඟීම් ඇති වීමෙන් ද, කළ දෙයේ වරද නිවරද බව තේරුම් ගත නො හැකි වීමෙන් ද කුක්කුච්චය ඇති වේ. පසුතැවීමට හේතුවන කරුණු ඇති යෝගාවචරයන්ට භාවනා කරන කල්හි ඒ අතීත කරුණු සිහිවන්නට පටන් ගනී. පසුතැවෙන ද්වේෂමූලික සිත් ඇති වන්නට පටන් ගනී. මෙයින් යෝගාවචරයාට භාවනාරම්මණයෙහි සිත පිහිටුවා ගැනීම අපහසු වේ. සිත භාවනාරම්මණයට ගත ද නැවත නැවතත් එයින් බැහැර වන්නට පටන් ගනී. ඒ කුක්කුච්චයෙන් කෙරෙන ආවරණය ය.

උද්ධච්චකුක්කුච්ච ඇතිවීමේ හේතු

“අත්ථි භික්ඛවේ, චේතසෝ අවූපසමෝ, තත්ථ අයෝනිසෝමනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භීය්‍යෝභාවාය වේපුල්ලාය.”

“මහණෙනි, සිතෙහි නො සන්සිඳීමක් ඇත. එහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව නූපන් උද්ධච්ච කුක්කුච්චයා ගේ ඉපදීමටත් උපන් උද්ධච්චකුක්කුච්චයාගේ වැඩීමට හා දියුණුවටත් හේතුවය” යනු ඒ පාඨයේ තේරුම ය. උද්ධච්චකුක්කුච්චය ඇතිවන කල්හි එය නීවරණයකැයි නො සිතා එය ප්‍ර‍හාණය කිරීම ගැන නො සිතා එයට අනුකූලව සිත පැවැත්වීම, එය ම ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් හෝ සිතීම උද්ධච්චකුක්කුච්චය පිළිබඳ නුසුදුසු සේ මෙනෙහි කිරීමය. එසේ මෙනෙහි කිරීම් බහුල තැනැත්තාට නැවත නැවත උද්ධච්ච කුක්කුච්චය උපදී. උපන් උද්ධච්චකුක්කුච්ච ද නැවත නැවත ඉපදීම් වශයෙන් වැඩේ. දියුණු වේ.

උද්ධච්චකුක්කුච්ච දුරුවීමේ හේතු

“අත්ථි භික්ඛවේ, චේතසෝ වූපසමෝ තත්ථ යෝනිසෝමනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස න භීය්‍යෝ භාවාය න වේපුල්ලාය.”

“මහණෙනි, සිතෙහි සන්සිඳීමක් හෙවත් චිත්ත සමාධියක් ඇත. එහි සුදුසු සේ මෙනෙහි කිරීම් බහුල බව නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ නො ඉපදීමට ද උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නැවත නැවත නූපදීමට හා නො දියුණු වීමට ද හේතුවය” යනු එහි තේරුම ය.

අටුවාවල දැක්වෙන ප්‍ර‍හාණ හේතු

“ඡ ධම්මා උද්ධච්චකුක්කුච්චස්ස පහානාය සංවත්තන්ති, බහුස්සුතතා, පරිපුච්ඡකතා, විනයේ පකතඤ්ඤුතා,වුඩ්ඪසේවිතා, කල්‍යාණමිත්තතා, සප්පායකථා.”

ධර්මවිනය උගත්බව ය, කැප අකැප බව පිළිබඳ ප්‍ර‍ශ්න නඟන බව ය, විනයප්‍ර‍ඥප්ති අනුව වැඩ කිරීමේ පුරුද්දෙන් විනය තතු දන්නා බව ය, බොහෝ කල් මහණදම් පුරා ඇති මහලු තෙරුන් වහන්සේලා ඇසුරු කිරීම ය, විනය දත් විනය ගරුක කල්‍යාණ මිත්‍ර‍යන් ඇති බව ය, කැප අකැප බව පිළිබඳ වූ සුදුසු කථා ය යන මේ කරුණු සය අටුවාවල දක්වා ඇති උද්ධච්චකුක්කුච්ච දුරුවීමේ හේතු ය.

විචිකිච්ඡා නීවරණය

බුද්ධාදි උත්තමයන් ගැන හා මාර්ගඵලාදි ධර්ම ගැන සැකය අවිශ්වාසය විචිකිච්ඡා නමි. එය එසේ ද මෙසේ ද මෙය ද අනිකක් ද ඇත ද නැත ද කියා දෙපසට පනින ධර්මයක් බැවින් සමාධියට බාධක වූ සිත නො සන්සුන් කරන ධර්මයකි. සමාධිය ආවරණය කරන, ප්‍ර‍ඥාව ආවරණය කරන, නිවන් මඟ ආවරණය කරන ධර්මයක් බැවින් නීවරණයෙකි.

සත්ත්වයා හට අතීත සංසාරයක් තුබූ බව, අනාගත සංසාරයක් ඇති බව, කළ කම් අනුව ඔහු සැපදුක් ලබන බව, කම්පල දෙන ස්ථාන වූ අපාය දිව්‍යලෝක බ්‍ර‍හ්මලෝක ඇති බව, ධ්‍යානාභිඥා ඇති බව, මාර්ගඵල නිර්වාණයන් ඇති බව, අනාගත සංසාරය නැති කළ උත්තම පුද්ගලයන් ඇති බව, සියල්ල දත් බුදුවරුන් ඇති බව යන මේ කරුණු සාමාන්‍ය ජනයාගේ සාමාන්‍ය ඥානයට අවිෂය ය. ඒවා සාමාන්‍ය ජනයා පිළිගන්නේ බුදුන් වහන්සේ කෙරෙහි තබන විශ්වාසය අනුව ය. හරි දැකීමක් නැතිව අනුන් කෙරෙහි තබන විශ්වාසය අනුව පවතින පිළිගැනීම ස්ථිර එකක් නො වේ. එබැවින් සත්ත්වයාහට පෘථග්ජන භාවය ඉක්මවන තුරු වරින්වර ඒ කරුණු ගැන විචිකිච්ඡා ඇති වේ. අනාගත සංසාරය ගැන හා කර්ම විපාක ගැන සැකය නැඟී ඇති තැනැත්තාගේ සිත මතු සුගතියෙහි ඉපදීමට කළයුතු පින්කම් කිරීමෙහි නො නැමේ. ඒ සැකය ඔහුට කුශලයට බාධාවක් වෙයි. කුශල මාර්ගය ආවරණය කරන්නක් වේ. ඒ නිසා ඔහුට කුශල් කරන්නට නො ලැබේ. එයින් ඔහුට ස්වර්ගමාර්ගය වැසේ. මාර්ගඵල නිර්වාණයන් පිළිබඳ සැකය නැඟී ඇති, අනාගත සංසාරය ගැන සැකය නැඟී ඇති, පුද්ගලයාගේ සිත පස්කම් සැප අතහැරීමට සිල් රැකීමට භාවනා කිරීමට නො නැමේ. නිවන් මඟ ඔහුට එයින් වැසේ. දහම් අසන්නට ලැබී, ගුණවතුන් සේවනය කරන්නට ලැබී ශ්‍ර‍ද්ධාව ඇති වී කාමයන් හැර නිවන් මඟට බැසගත් තැනැත්තාට සමහරවිට විචිකිච්ඡාව ඇති වී ඔහු ගේ සිත අවුල් වේ. වික්ෂිප්ත වේ. එයින් හේ භාවනාවෙහි පසු බසී. සමහරවිට ඔහු ලබා සිටි තත්ත්වයෙන් ද පිරිහේ. සිත්හි එකක් තබාගෙන අනිකක් කියන කිසිදු ආභ්‍යන්තරික ගුණයක් තමන් තුළ නැතිව ගුණවතුන් සේ පෙනී සිටින කෛරාටික වංක පුද්ගලයන්ට විචිකිච්ඡා පහළවීම අධිකය. ඔවුහු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා දහම් පොත් ලියා තැබූ උත්තමයන් වහන්සේලා තමන් වැනි අයය යි සිතා සැම එකක් ගැනම සැක කරති. සත්‍යයෙහි පිහිටා සිටින සත්‍යය භාවිතා කරන සත්පුරුෂයනට විචිකිච්ඡා මඳය. ඔවුහු තමන් සේ සත්‍යය භාවිත කරන සත්‍යයෙහි පිහිටා සිටින තවත් අය ඇති බව පිළිගනිති. එයින් ඔවුනට බුද්ධාදි උත්තමයන් ගැනත් ධර්මය ගැනත් එතරම් අවිශ්වාසයක් ඇති නොවේ. ශ්‍ර‍ද්ධාව අඩු අඩු තරමට විචිකිච්ඡා වැඩි වේ. ශ්‍ර‍ද්ධාව දියුණු වීමෙන් විචිකිච්ඡා මඳ වේ. විචිකිච්ඡාව සම්පූර්ණයෙන් නැති කිරීමට ඇති උපායත් කෙසේ හෝ එය යටපත් කර භාවනාවෙහි යෙදී සෝවාන් ඵලයට පැමිණීමය. සෝවාන් මාර්ගඥානයෙන් ආර්‍ය්‍ය සත්‍යයන් ප්‍ර‍ත්‍යක්ෂ කිරීමෙන් විචිකිච්ඡාව සම්පූර්ණයෙන් මතු ඇති නො වන පරිදි දුරු වේ.

විචිකිච්ඡා ඇතිවීමේ හේතු

“අත්ථි භික්ඛවේ, විචිකිච්ඡාඨානියා ධම්මා, තත්ථ අයෝනිසෝමනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා විචිකිච්ඡාය උප්පාදාය උප්පන්නස්ස වා විචිකිච්ඡාය භීය්‍යෝභාවාය වේපුල්ලාය.”

“මහණෙනි, විචිකිච්ඡා ඇති වීමට ස්ථාන වන ධර්මයෝ ඇත්තාහ. එහි නුසුදුසු සේ මෙනෙහි කිරීම් බහුල බව නූපන් විචිකිච්ඡාව ඉපදීමේත් උපන් විචිකිච්ඡා නැවත නැවත ඇතිවීම් වශයෙන් වැඩීමේත් දියුණුවීමේත් හේතුව ය” යනු එහි තේරුම ය.

විචිකිච්ඡාව ම විචිකිච්ඡා ඇති වන බිම ය. යම්කිසිවක් ගැන විචිකිච්ඡාවක් ඇති වූ පසු එහි පිහිටා ඒ ගැන සිතන්නා වූ පුද්ගලයා හට එය සැක කළ යුතු බවට බොහෝ කරුණු මතු වී එයි. එයින් ඔහුට ඇති වූ විචිකිච්ඡාව තහවුරු වේ. ඒ නිසා නැවත නැවත විචිකිච්ඡාව ඇති වේ. සුළුවෙන් ඇති වූ විචිකිච්ඡාව දියුණු වී මහත් වේ. විචිකිච්ඡාව නැතිවීමට හේතු සෙවීම නො කොට විචිකිච්ඡාව තහවුරු වන දියුණු වන කරුණු මෙනෙහි කිරීම විචිකිච්ඡාව ගැන නුසුදුසු පරිදි මෙනෙහි කිරීම ය.

විචිකිච්ඡා ප්‍රහාණ හේතු

“අත්ථි භික්ඛවේ, කුසලාකුසල ධම්මා, සාවජ්ජානවජ්ජා ධම්මා, සේවිතබ්බාසේවිතබ්බ ධම්මා, හීනපණීතා ධම්මා, කණ්හසුක්කසප්පටිභාගා ධම්මා, තත්ථයෝනිසෝමනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා විචිකිච්ඡාය අනුප්පාදාය උප්පන්නස්ස වා විචිකිච්ඡාය න භීය්‍යෝභාවාය න වේපුල්ලාය.”

“මහණෙනි, කුශලාකුශල ධර්මයෝ ඇත. ඒවා ගැන සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව නූපන් විචිකිච්ඡාවන් නො ඉපදීමටත් උපන් විචිකිච්ඡා නො වැඩීමටත් නො දියුණුවීමටත් හේතුව ය” යනු එහි අදහස ය. ඉහත දැක් වූ පාඨයෙහි සාවජ්ජානවජ්ජාදී නම් වලින් දැක්වෙන්නේ කුශලාකුශලයන් ම ය.

කුශලාකුශලයන් ගැන සුදුසු පරිදි මෙනෙහි කරන්නහුට ඒවායේ තතු අවබෝධ වන කල්හි තේරුවන් කෙරෙහි පැහැදීම වැඩි වේ. එයින් විචිකිත්සා පහළවීම අඩු වේ.

අටුවාවල දැක්වෙන විචිකිච්ඡා ප්‍ර‍හාණ හේතු.

“ඡ ධම්මා විචිකිච්ඡාය පහානාය සංවත්තන්ති, බහුස්සුතා, පරිපුච්ඡකතා, විනයේ පකතඤ්ඤුතා, අධිමොක්ඛබහුලතා, කල්‍යාණමිත්තතා, සප්පාය කථාති.”

ධර්මවිනය උගෙන ඇති බව, රත්නත්‍ර‍ය පිළිබඳ ප්‍ර‍ශ්න කරන බව, විනයෙහි පලපුරුද්ද ඇති බව, රත්නත්‍රයේ ගුණ පිළිබඳ විනිශ්චය සහිත දැනීම ඇති බව, ශ්‍ර‍ද්ධාධික කල්‍යාණමිත්‍ර‍යන් ඇති බව, රත්නත්‍ර‍ය ගුණ පිළිබඳ කථාව යන මේ කරුණු සය අටුවාවෙහි දක්වා ඇති විචිකිච්ඡා ප්‍ර‍හාණ හේතූහු ය.

පිටකත්‍ර‍ය ධර්මය පාළි වශයෙන් හා අර්ථ වශයෙන් උගන්නා තැනැත්තාට උගත් තැනැත්තාට ඒ දැනීමේ හේතුවෙන් විචිකිච්ඡා පහළවීම මඳ වේ. ධර්මය පිළිබඳ දැනුමක් නැති භාෂාශාස්ත්‍ර‍ පමණක් උගත් අයට බොහෝ විචිකිච්ඡා පහළ වේ.

තෙරුවන් ගුණ දතුවන්ගෙන් ඒවා ගැන බොහෝ ප්‍ර‍ශ්න කරන තැනැත්තාහට බොහෝ තෙරුවන් ගුණ දැනගන්නට ලැබීමෙන් තෙරුවන් කෙරෙහි විශ්වාසය තහවුරු වේ. එයින් ම පරලොව ඇත යනාදි කරුණු ගැන පිළිගැනීම ද දැඩි වේ. එයින් ඔහුට විචිකිච්ඡා පහළ වීම මඳ වේ.

විනය, භික්ෂූන්ට නොයෙක් විට විචිකිච්ඡා ඇතිවීමට හේතු වේ. කැප-අකැප බව විනිශ්චය කිරීම, ආපත්ති-අනාපත්ති විනිශ්චය කිරීම, උපසම්පදාකර්ම සීමාසම්මුති ආදි විනය කර්ම කිරීම යන මේවායින් විනය පිළිබඳ පලපුරුදුකම් ඇතියන්ට විනය සම්බන්ධයෙන් පහළ විය හැකි විචිකිච්ඡා මඳ වේ.

තෙරුවන් ගුණ නො දත් තෙරුවන් නාඳුනන පුද්ගලය්ට විචිකිච්ඡා බහුල ය. තෙරුවන් ගුණ විනිශ්චයක් ඇතිව දැනගත් අයට විචිකිච්ඡා මඳ ය. ‘සූවිසි මහා ගුණය’ නමැති ග්‍ර‍න්ථය කියැවීමෙන් තෙරුවන් ගුණ පිළිබඳ සෑහෙන දැනුමක් ඇතිකර ගත හැකි ය.

තෙරුවන් ගුණ නො පිළිගන්නා වූ, තමන්ට අවිෂය ධර්මය නො පිළිගන්නා වූ අශ්‍ර‍ද්ධාවත් පුද්ගලයන් ඇසුරු කිරීමෙන් විචිකිච්ඡා බහුල වේ. වක්කලී තෙරුන් වහන්සේ වැනි සුප්‍ර‍බුද්ධ දුගියා වැනි ධනඤ්ජානී බැමිණිය වැනි ශ්‍ර‍ද්ධාධික පුද්ගලයන් සේවනය කරන්නවුන්ට විචිකිච්ඡාව තුනී වේ.

තෙරුවන් ගුණ දැක්වෙන ධර්මදේශනයන් ඇසීම, ධර්මදේශනා පැවැත්වීම, තෙරුවන් ගුණ විස්තර කර ඇති දහම් පොත් දහම් ලිපි කියවීම, තෙරුවන් ගුණ ගැන කථා කිරීම යන මේවායින් ද නූපන් විචිකිච්ඡා නූපදී. උපන් විචිකිච්ඡා දුරු වේ.

යෝගීහු නිවන් මඟ අවුරන මේ නීවරණයන ප්‍ර‍හාණය කොට දුකින් මිදීමට සමත් වෙත්වා!

සකල සත්ත්වයෝ සුවපත් වෙත්වා!!