බුද්ධ නීති සංග්‍රහය
රේරුකානේ චන්දවිමල මහනාහිමි
අනුවාද සහිත
බුද්ධ නීති සංග්‍රහය
(නව වන මුද්‍රණය)
මහාචාර්ය
රේරුකානේ චන්දවිමල
(සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිත, ප්‍රවචන විශාරද,
අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී)
මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින්
සම්පාදිතයි.
සංඥාපනය
ලෝකය දුකින් පිරුණු තැනකි. දුක් අඩු කර ගත් අය මිස සර්වාකාරයෙන් දුකින් මිදුණු පුද්ගලයෙක් ලොව කොතැනකවත් නැත. මිනිසා කොහි සැඟ වී සිටියත් කෙසේ පරෙස්සම් වී සිටියත් දුක් කරදර ඔහු සොයා ගෙන ඔහු කරා එන්නේ ය. මිනිසා නො පතන මිනිසාට එපා වූ දුක් කරදර මෙසේ මිනිසා සොය සොයා එන නුමුත් මිනිසා පතන සොයන සම්පත්තිය එසේ ඔහු කරා නො එන්නේ ය. එය ඔහුට පෙනි පෙනී දුවන්නේ ය. අමාරුවෙන් අල්ලා ගත්තේ ද නො සිට පළා යන්නේ ය. එය ලෝකයේ ස්වභාවය ය. එබඳු ලෝකයක උපන්නා වූ මිනිසාට පැමිණි දුක් ඉක්ම වීම ය, පැමිණිය හැකි දුක් වළක්වා ගැනීම ය, නො ලැබූ සම්පත් ලබා ගැනීම ය, ලැබූ සම්පත් නො නැසෙන සේ පවත්වා ගැනීම ය, මරණින් මතු අපාගත නො වී සුගතිගාමී වීමය යන කරුණු පස සිදුකර ගැනීම ඉතා දුෂ්කර ය. එය සිදු කර ගත හැකි වීමට බොහෝ නුවණ තිබිය යුතු ය. නුවණ මඳ තැනැත්තා දෙලොවින් ම පිරිහෙන්නේ ය. මෙ ලොව පමණක් දක්නා තැනැත්තා පරලොවින් පිරිහෙන්නේ ය. මිනිසකුට ඒ කරුණු පස සිදු කර ගත හැකි වීමට දත යුතු කරුණු බොහෝ ඇත්තේ ය, පිළිපැදිය යුතු උපදෙස් ද බොහෝ ඇත්තේ ය, ඒවාට නීතිය යි කියනු ලැබේ.
උභයලෝකාර්ථය සිදු කර ගත හැකි වන්නේ නීතිය දත් තැනැත්තාට ය. ලොව යෙහෙන් වෙසෙනු කැමති සෑම දෙනා විසින් ම නීතිය උගත යුතු ය. එබැවින් පෙර විසූ පඬිවරයෝ නීති ග්‍රන්ථ නිපදවූහ. අප රටේ පෙර කුලදරුවනට අක්ෂරාභ්‍යාසය කරවීමට ගත් පොත් පෙළට නවරත්නය, ව්‍යාසකාරය, හිතෝපදේශය, ප්‍රත්‍ය ශතකය යන පොත් ඇතුළු කර තිබෙන්නේ ද නීති ශාස්ත්‍රය සැම දෙනා විසින් ම උගත යුතු නිසා ය.
තථාගතයන් වහන්සේ විසින් ද නීතිය ප්‍රකාශ කරන ලද්දේ ය. අන් පඬිවරයන් ගේ නීති ග්‍රන්ථවල දුරුපදේශ ද නැත්තේ නොවේ. ලෝකයා විසින් අතිශයින් සම්භාවිත නීති ග්‍රන්ථයක් වූ හිතෝපදේශයේ ද දුරුපදේශ නැත්තේ නො වේ.
“චිතෞ පරිෂ්වජ්‍ය විචෙතනං පතිං
ප්‍රියා හා යා මුඤ්චති දෙහමාත්මනඃ
කෘත්වාපි පාපං ශතලක්ෂවමප්‍යසෞ
පතිං ගෘහීත්වා සුරලොකමාප්නුයාත්”
මේ හිතෝපදේශයේ දැක්වෙන එක් උපදෙසකි. “යම් භාර්‍ය්‍යාවක් මළ සැමියාගේ සිරුර දවන චිතකයට වැද හිමියා වැළඳගෙන ගින්නෙන් දැවී මිය යා නම් ඕ තොමෝ සියක් ලක්‍ෂයක් පව් කළ තැනැත්තියක් වුව ද හිමියා ගෙන සුරලොවට යන්නී ය” යනු එහි තේරුම යි. මෙය කොතරම් දුරුපදේශයක් ද?
“පිතා වා යදි වා භ්‍රාතා - පුත්‍රො වා යදි වා සුහෘත්,
ප්‍රාණවිජෙදකාරා රාඥා - හන්තව්‍ය භූතිමිච්ඡතා”
මෙය ද හිතෝපදේශයේ උපදේශයකි. “පියා හෝ වේවා සහෝදරයා හෝ වේවා පුත්‍රයා හෝ වේවා මිත්‍රයා හෝ වේවා තමාගේ ප්‍රාණය නසන්නෝ රජු විසින් නැසිය යුත්තාහු ය” යනු එහි තේරුම යි. පියා වුව ද මරන්නට කරන මේ අනුශාසනය කොතරම් දුෂ්ට ද?
“ජයෙ ච ලභතෙ ලක්‍ෂ්මීං - මෘතෙනාපි සුරාඞ්ගනාම්
ක්ෂණවිධවංසිනඃ කායඃ - කා චින්තා මරණෙ රණෙ”
මෙය ද හිතෝපදේශයේ දැක්වුණු ශ්ලෝකයෙකි. යුද කොට දිනන තැනැත්තේ ශ්‍රී දේවිය ලබන බව හා යුදයෙන් නැසෙන තැනැත්තේ දෙව් ලොවට යන බව ද එයින් දැක්විණ. මේ උපදේශයට රැවටී යුද කොට කොතෙක් දෙනා මැරෙන්නට හා අපායට යන්නට ඇත්ද?
බුදුන් වහන්සේ විසින් ප්‍රකාශිත නීති අතර සදුපදේශ ම මිස එක දුරුපදේශයකුදු නැත. කෑම පීම, පා සේදීම, මුව සේදීම, නෑම, මලමුත්‍ර පහ කිරීම, කෙළ ගැසීම ආදී සුළු කරුණුවල දී පිළිපැදිය යුතු උපදෙස් පවා බුදුන් වහන්සේ විසින් ප්‍රකාශ කර තිබේ. එ බැවින් බුද්ධ නීතිය සර්වාංග සම්පූර්ණ නීතියක් බව කිය යුතු ය. සුපරිශුද්ධ බුද්ධ නීතිය උගෙන එයට අනුව පිළිපදින්නා වූ තැනැත්තා තමා ගේ උභයලෝකාර්ථය ම සිදු කර ගන්නේ ය. පරාර්ථය ද සිදු කරන්නේ ය.
බුද්ධ නීතිය උභයලෝකාර්ථ සාධක වූ සකලාංග සම්පූර්ණ වූ සුපරිශුද්ධ නීතියක් වුව ද, එය එක් තැන් නො වී පාලි සාහිත්‍යයේ විසිරි පවත්නක් වී තිබෙන බැවින් සෑම දෙනාට ම එයින් ප්‍රයෝජන නො ගත හැකි වී තිබේ. එ බැවින් බෞද්ධයෝ ද සුපරිශුද්ධ බුද්ධ නීතිය තිබිය දී නීති ශාස්ත්‍රය උගෙනීමට හිතෝපදේශ, පඤ්චතන්ත්‍රාදි අබෞද්ධ ග්‍රන්ථ භාවිතයට පටන් ගත්හ. බෞද්ධයනට සුපරිශුද්ධ බුද්ධනීතිය පහසුවෙන් උගෙනීමට ක්‍රමයක් නැතිකමේ පාඩුව නොයෙක් වර අපට පෙනුණු බැවින් ‘බුද්ධ නීති සංග්‍රහය’ නමැති මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමට අප සිත නැමිණ. වාක්‍ය වශයෙන් හා ගාථා වශයෙන් දේශිත බොහෝ බුද්ධ නීති පාලි සාහිත්‍යයේ ඇත්තේ ය. ඒ සියල්ල ම එක් තැන් කළ හොත් ඉතා විශාල ග්‍රන්ථයක් වන්නේ ය. ග්‍රන්ථය විශාල වීමත් පරිශීලනය කරන්නවුන්ට කරදරයක් බැවින් අප විසින් වාක්‍ය වශයෙන් දේශීත නීති නො ගෙන ධාරණයට පහසු වූ ගාථා වශයෙන් දේශිත නීති පමණක් එක්තැන් කොට භාවසන්නයක් ද ලියා මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. මෙහි දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ජාතක පාළිය, ධම්මපදය, උදානය, ඉතිවුත්තය, සුත්ත නිපාතය යන පොත් වලින් උපුටා ගන්නා ලද ගාථා (550) පන්සිය පනසක් ඇත්තේ ය. මේ ග්‍රන්ථය භාවිත කරන තැනැත්තා හට සැම කටයුත්තකට ම බුදුන් වහන්සේ ගේ උපදෙස් ලැබිය හැකි වනු ඇත. මෙය බෞද්ධයනට හස්තසාර වස්තුවක් වශයෙන් නිතර ළඟ තබාගෙන කියවීමට සුදුසු ග්‍රන්ථයකි. ධර්මකථිකයන් වහන්සේලාට හා අන්‍ය කථිකයන්ට ද ගුරුවරුන්ට ද ඉතා ප්‍රයෝජනවත් පොතකි. පිරිවෙන්වල හා පාසල්වල උගැන්වීමට ද යෝග්‍ය පොතකි.
බුදුන් වහන්සේ විසින් එකල පැවති ව්‍යවහාර ක්‍රමයට අනුව දේශිත මේ ගාථාවල ව්‍යවහාර ක්‍රමය අපේ භාෂා ව්‍යවහාර ක්‍රමයට බොහෝ වෙනස් ය. එ බැවින් කාරණය පහසුවෙන් තේරෙන සැටියට ඒවාට අපේ භාෂාවෙන් අර්ථ දීමට ඉතා දුෂ්කර ය. ගාථාවට අයත් වචනවල සැටියට ම අර්ථ දුන හොත් සමහර ගාථාවලින් කියන කාරණය තේරුම් ගැනීමට අපහසු වන්නේ ය. ගාථාවේ වචන ගැන නො සලකා කාරණය පහසුවෙන් තේරුම් ගත හැකි වන සැටියට ගාථාවට අර්ථ දුනහොත් අර්ථ වාක්‍යය, ගාථාවේ වචන වලට බොහෝ දුර වන්නේ ය. ඇතැම් ගාථාවලින් කියැවෙන කාරණය පහසුවෙන් තේරුම් ගත හැකි වනුයේ ගාථාවට අයත් සමහර වචන අතහැර අර්ථ දුන් කල්හි ය. සමහර ගාථාවලින් කියැවෙන කාරණය තේරුම් ගැනීමට පහසු වන්නේ ගාථාවේ නැති තවත් වචනත් එක් කොට එයට අර්ථ දුන් කල්හි ය. මේ හැම කරුණක් ම සලකා බලා එක්තරා මධ්‍යම ක්‍රමයකට අප විසින් මේ භාවසන්තය සම්පාදනය කරන ලදි. සමහර විට මෙහි සදොස් තැන් ද තිබිය හැකිය. මතු මුද්‍රණය කරවන වාරයකදී සකස් කිරීම සඳහා මෙහි යම් කිසි දෝෂස්ථානයක් දුට හොත් අපට දන්වන ලෙස උගතුන්ගෙන් ඉල්ලමි.
මීට - ලෝකශාසනාර්ථකාමී,
රේරුකානේ චන්දවිමල ස්ථවිර
2493
1952 අප්‍රියෙල් 25 වෙනි දින
පොකුණුවිට,
ශ්‍රී විනයාලංකාරාරාමයේ දී ය.
ප්‍රථම ශතකය
02. බුද්ධානුශාසනය
04. දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු අට
06. ධනය ගැන පිළිපැදිය යුතු සැටි
07. මෙලොව ප්‍රශංසාව හා මරණින් පසු ස්වර්ග සම්පත්තිය ලබන තැනැත්තා
09. සංග්‍රහ සතර
10. අගති සතර
13. ජනසන්ධානුශාසනය.
14. ශෝක නො වීමේ හේතු
16. ගෙන යා හැකි ධනය
17. ධර්‍ම චර්‍ය්‍යාව
20. සතුරන් මැඩ පැවැත්විය හැකි තැනැත්තා
21. යුඬාදියේ දී වුවමනා පුද්ගලයෝ.
22. ප්‍රශංසා කළ යුතු බියසුල්ලා
23. දුර්ලභ පුරුෂයා
25. සැපයට හේතු සතරක්
26. මහත් සැපයක් ලබනු පිණිස කුඩා සැප හළ යුතු බව.
28. කරුණු සතරක්
29. දුර්ලභ කරුණු
30. කරුණු සතරක්
31. දිනුම්
32. නො දිනිය යුත්තෝ
33. රාග ද්වේෂ මෝහයෝ
35. අවස්ථාව ඉක්මවීමෙන් තැවෙන්නට වන බව
36. සතුරන් ගේ වසඟයට පැමිණෙන තැනැත්තා
37. අනර්ථකාරී දෙයට වැඩෙන්නට නොදිය යුතු බව
38. කපටිකම් වලට කපටිකම් ඇති බව
39. කථා කිරීමේ දෝෂය.
40. දුෂ්ටයාට පරාක්‍රමය ම යෙදිය යුතු බව.
41. නැමිය යුත්තාට නැමිය යුතු බව ආදී කරුණු
43. යොදුන් සියයක් දුර දක්නා ගිජුලිහිණියා ළඟ තිබෙන දැන නො දක්නා බව
45. සියල්ලම හොඳ හෝ නො හොඳ නො වන බව
47. අළුත් සැපදුක් වලින් පරණ ඒවා වැසෙන බව
49. අනුන්ට හිංසා නො කළ යුතු බව
50. සිල් නැත්තහු ගේ උගත් කමෙන් වැඩක් නැති බව
ද්විතීය ශතකය.
51. මිත්‍රයන් ඇති බව අර්ථ සිඬියට හේතු වන බව
52. හැම දෙනම මිතුරු කර ගත යුතු බව
54. මිත්‍ර වන සැටි
56. මිතුරා ගේ ලකුණු
58. සැබෑ මිතුරෝ
60. නෙරපන කල්හි ද නො හළ යුතු කල්‍යාණ මිත්‍රයා
63. මිත්‍රයන්ට හිතවත් වීමේ අනුසස්
64. විපතේ දී මිත්‍රයන් ලබන නො ලබන අය
67. නො බිඳෙන මිතුරා
70. කල්‍යාණ මිත්‍රයන් සේවනය කළ යුතු බව.
71. මිනිසුන් ගේ අදහස් තේරුම් ගැනීම දුෂ්කර බව
72. හිතවතා දුර විසුයේ ද ළඟම බව
73. කේළාම් පිළිගැන්මෙන් වන විපත
75. නුවණැති සතුරා මෝඩ මිතුරාට වඩා හොඳ බව
76. සත්පුරුෂයා
77. තවුතිසා දෙවියන් ගේ සත්පුරුෂයා
78. අසත්පුරුෂයා ගුණ කිරීමෙන් සතුටු නො කළ හැකි බව
79. අසත්පුරුෂයාට කරන උපකාරයෙන් පලක් නැති බව
80. අසත්පුරුෂයා උපකාරකයා නසන බව
81. සත්පුරුෂයන්ට හා අසත්පුරුෂයන්ට කරන ගුණ
83. සත්පුරුෂයා සත්පුරුෂයන්ට කරන ගුණය
84. කෙළෙහි ගුණ නො දන්නා හට උපකාරකයන් නැති වන බව
85. කෙළෙහි ගුණ නො දන්නහුගේ අර්ථයන් නැසෙන බව
86. සේවනය
87. කෙළෙහි ගුණ නො දන්නහු ගෙන් ඈත් විය යුතු බව
88. භජනය කළ යුතු අය
89. අසත් පුරුෂයන් ආශ්‍රය කිරීමේ නපුර
90. මිනිසුන් හැඳිනීම දුෂ්කර බව
තෘතීය ශතකය
91. සේවනය කරනු ලබන තැනැත්තාට අනුව සේවකයා ගේ චරිතය හැඩගැසෙන බව
92. සත්පුරුෂයන් දැකීම හා අසත්පුරුෂයන් දැකීම
94. ඒක චර්‍ය්‍යාව
95. විශ්වාස කළ යුතු නො කළ යුතු අය
96. රහස්
97. ඉල්ලීම
99. පැමිණි දුක කිය යුතු නො කිය යුතු අය.
100. අෂ්ට ලෝක ධර්මය
102. නින්දා ප්‍රශංසා නිසා පණ්ඩිතයන් නො සැලෙන බව.
103. සුව දුක් දෙක්හි නො සැලෙන තැනැත්තා
104. ශෝකය
105. නුවණැතියන් විපතේ දී නො තැවෙන බව.
106. මළවුන් ගැන හැඬීම නිෂ්ඵල බව
107. කො තැනක සිටියත් කර්‍මයෙන් නො මිදිය හැකි බව.
109. නිවැරදි උතුමන්ට වරද කරන්නවුන් විසින් මෙලොව ම විපාක දශයක් ලබන බව
110. පාපය කුඩා යයි නො සිතිය යුතු බව.
112. විපාක දෙන තුරු පාපය සැඟවී තිබෙන බව.
114. ධර්මයෙන් පහ වූ තැනැත්තා පශ්චාත්තාප වන බව.
115. මුල නසා ගන්නෝ.
116. දෙලොව ම සතුටු වන තැනැත්තා.
117. ආත්මය රැකිය යුතු බව.
118. තමා විසින් ම තමා කාලකණ්ණියකු කර ගන්නා බව.
119. තමාට වඩා ප්‍රිය දෙය උසස් නො වේ.
120. සැම ප්‍රිය දෙයකට ම වඩා ආත්මය උතුම් බව
121. තමාට අහිත දෑ කිරීම පහසු බව.
122. සත්පුරුෂයාට හොඳත් අසත්පුරුෂයාට නරකත් කිරීම පහසු බව
චතුර්ථ ශතකය
124. කරන දෙය හොඳට ම කළ යුතු බව.
125. කළ යුත්ත අද ම කළ යුතු බව.
126. අලසයා නිසා ඔහු ඇසුරු කරන්නා ද පිරිහෙන බව.
127. පළමුකොට කළ යුත්ත පසුවට තැබීමේ වරද
128. සුළු කරුණු නිසා කළයුත්ත කල් නො තැබිය යුතු බව.
129. නැකැත් බලා කටයුතු පසු නො කළ යුතු බව.
130. නුවණැත්තා සුළු දෙයකින් ද පොහොසත් වන බව.
131. අනුන් මහන්සියෙන් සපයන දෙය පින් ඇත්තාට නිකම් ම ලැබෙන බව
132. නො විමසා කිරීමේ වරද.
133. බැරි දෙය කරන්නට යාමෙන් වන විපත.
135. සෙමින් කළ යුත්ත සෙමින් ද ඉක්මනින් කළ යුත්ත ඉක්මනින් ද කළ යුතු බව
136. හීනයා සුළු දෙයින් ද මත් වන බව.
137. ධනය රැකෙන්නේ මත් නො වී සිටින තෙක් පමණ බව.
138. අනුපායයෙන් ධනය සෙවීමෙන් විපත් වන බව.
139. ධනයෙන් මිනිස් සිත උඩඟු කරන බව.
140. අසත්පුරුෂයාගේ ධනය.
141. නුවණැත්තා ගේ ධනය.
142. ලෝභියා ගේ ධනය.
143. සප්තාර්‍ය්‍ය ධනය
144. නො විසිය යුත් තැන්.
145. උපන් ගෙය නො හැරීමෙන් වූ විපත.
146. විදේශයේ දී පිළිපැදිය යුතු හැටි.
147. නුසුදුසු තන්හි හැසිරීමේ විපාකය.
148. වැඩි නැටුම් නැටීම.
149. වැඩි පද ගැසීම.
150. වැඩි කැරුම් කිරීම.
151. අති පණ්ඩිත කම.
152. වැඩි කථාව.
153. මිනිසා ගේ කටේ ඇති කෙටේරිය
154. හොඳ කථාව.
155. නො මනා කතාවෙන් පසුතැවිලි වන බව.
156. සත්‍යය ය.
157. දෙමි යි කියා නො දීම.
158. බොරු කීමේ විපාක.
159. බොරු කියන්නහුට නො කළ හැකි පවක් නැති බව.
160. වරදක් නැත්තේ කාගේ ද?
162. ශුඬ පුද්ගලයා ගේ වරද මහත් සේ පෙනෙන බව.
163. අනුන් ගේ වරද පෙනෙන්නාක් මෙන් තමා ගේ වරද නො පෙනෙන බව
164. අනුන් ගේ වරද සොයන්නාට කෙලෙස් වැඩෙන බව
165. අනුන්ගේ වැඩ ගැන නොබලා තමාගේ ම වැඩ බලා ගත යුතු බව
167. උතුම් ඉවසීම.
168. යුඬයකින් නො ලැබිය හැකි අර්ථයක් ඉවසීමෙන් ලැබිය හැකි බව
169. ඉවසීම පිළිබඳ දෙබසක්.
පඤ්චම ශතකය
170. අති ලෝභය.
171. වස්තුකාම ක්ලේශකාමයන් විසින් මඬනා ලද්දහුට පිළියමක් නැති බව
172. තෘෂ්ණාව ශෝකයට හා භයට හේතු වන බව.
174. රස තෘෂ්ණාව.
175. පරම රසය
177. එක් බතක් වළඳනා බ්‍රහ්මචාරීන් වර්ණවත් වීමේ හේතු
178. ක්‍රෝධය
179. විවාදය. (ආරවුල)
180. ජය පරාජය දෙක ම යහපත් නො වන බව.
181. වෛරය.
182. තමා මෙන් අන්‍යයන් ද සැළකිය යුතු බව.
183. සමගියේ බලය.
184. දිවිහිමියෙන් පණ්ඩිතයන් ඇසුරු කළේ ද බාලයා පණ්ඩිත නො වන බව
185. තමාගේ බාල බව දන්නා බාලයා පණ්ඩිත වන බව.
186. බාලයා ගේ ශිල්පශාස්ත්‍රඥානය ද අනර්ථය පිණිස වන බව
187. බාලයා ලබන යසසින් ද අනර්ථයක් ම කරන බව.
188. බාලයා යහපතක් කරමි යි සිතා කරන්නේ ද අනර්ත්ථයක් ම බව
189. මෝඩ මිතුරාට වඩා පණ්ඩිත සතුරා හොඳ බව.
190. බාලයන් නො දැකීම ම යහපත් බව.
191. ප්‍රාඥයා ගේ ලක්ෂණ.
192. ආචාර ශීලාදියට වඩා ප්‍රඥාව ශ්‍රේෂ්ඨ බව.
193. සිත.
194. සොරකු සතුරකු කරන නපුරට වඩා නපුරක් නො මනා සිත කරන බව
195. මා පියාදීන් කරන යහපතට වඩා උසස් යහපතක් හොඳ හිත කරන බව
196. සිත නො පහන් කල්හි ආත්මාර්‍ථ පරාර්ථ දෙක නො පෙනෙන බව
197. සිත ප්‍රසන්න කල්හි ම ආත්මාර්ථ පරාර්ථ දෙක පෙනෙන බව
198. සිත ආරක්ෂා කරගෙන සිටින තැනැත්තා හට දුක් එන්නට තැනක් නැති බව
199. නො සිතන්නා විශේෂයට නො පැමිණෙන බව.
200. දේව ධර්‍මයෝ.
201. සාධු ධර්‍ම සතර.
202. සාධු නර ධර්‍මය.
203. නො මනා සතර දෙනෙක්.
204. මහා බල සතරක්.
205. පාප විතර්කයන් විසින් නුවණැතියන් ද පෙළන බව.
206. කවර ශිල්පයක් වුවත් දැන ගැනීම යහපත් බව.
207. යහපත් ස්ත්‍රීන් දක්නට දෙවියන් ද පැමිණෙන බව.
208. සැමියකු නැති ස්ත්‍රිය නග්න බව.
209. ස්ත්‍රිය ප්‍රකට වීමේ කරුණ.
211. නින්දා කළ යුතු කරුණු තුනක්.
213. වැඩ සිදු නො වන වස්තු හා පුද්ගලයෝ.
214. ස්ත්‍රීන් විසින් සැමියාට අවමන් කරන කරුණු අට.
215. ස්ත්‍රීන් විසින් සැමියාට වරද කරන කරැණු නවය
216. භාර්‍ය්‍යාවෝ සත් දෙන, වධක භාර්‍ය්‍යාව
217. චෞර භාර්‍ය්‍යාව.
218. ස්වාමි භාර්‍ය්‍යාව.
219. මාතෘ භාර්‍ය්‍යාව.
220. භගිනි භාර්‍ය්‍යාව.
221. සඛී භාර්‍ය්‍යාව.
222. දාශි භාර්‍ය්‍යාව.
225. මළ එකෙක් මළ එකියක් හා වෙසෙන පවුල.
226. මළ හිමියකු හා දේවියක් වෙසෙන පවුල.
227. මළ එකියක් දෙවියකු හා වෙසෙන පවුල.
228. දෙවියකු දේවියක හා වෙසෙන පවුල.
229. ගිහි ගෙයි විසිය යුතු අයුරු.
උත්තර පණ්ණාසකය
230. මාපියෝ
231. දරැවෝ
232. මාපියන් දරුවන් ගෙන් බලාපොරොත්තු වන කරුණු පස
233. වැඩිමහලු පුත්‍රයා
234. ගුරුන් හා මිත්‍රත්ත්වය නො බිඳ ගත යුතු බව.
235. ගුරුවරයා උතුමකු බව.
236. නිග්‍රහ කොට අවවාද දෙන ගුරුන් ආදරයෙන් ඇසුරු කළ යුතු බව
237. සත් පුරුෂයන්ට ප්‍රිය වූද, අසත්පුරුෂයන්ට අප්‍රිය වූද තැනැත්තා
238. උතුමන් ගේ අවවවාද නො පිළිගන්නා අය විපතට පැමිණෙන බව
239. බුදුන් වහන්සේ ගේ අවවාදය පිළිගන්නවුන් සුවසේ නිවනට පැමිණෙන බව
240. මෝඩයාට කරන අවවාදය.
241. තමා ගුණයෙහි පිහිටා ම අනුන්ට අවවාද කළ යුතු බව.
243. ශ්‍රේෂ්ඨයන් අධාර්මික වන කල්හි සෙස්සන් ද අධාර්මික වන බව
244. ශ්‍රේෂ්ඨයන් ධාර්මික වන කල්හි සෙස්සන් ධාර්මික වන බව
245. අධිපතීන් විසින් පිළිපැදිය යුතු ආකාරය.
246. උසස් බව පැවැත්විය හැකි ආකාරය.
247. මහා බලය
248. කුඩා ය යි අවමන් නො කළ යුතු අය.
249. දීමේ අනුසස්.
250. නො දීමෙන් වන නපුර.
251. දහසක් අගනා දීමනාව.
252. ක්‍රියාවෙන් මිස ජාතියෙන් බ්‍රාහ්මණ නො වන බව.
භාව සන්න සහිත
බුද්ධ නීති සංග්‍රහය
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
1. නො චෙ අස්ස සකා බුද්ධි විනයො වා න විජ්ජති,
වනෙ අන්ධ මහීසො ව චරෙය්‍ය බහුකො ජනො.
2. යස්මා ච පනිධෙ කච්චේ ආචේරම්හි සුසික්ඛිතා,
විනීත විනයා ධීරා චරන්ති සුසමාහිතා.
(7 නි. ගන්ධාර ජා.)
3. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා,
සචිත්ත පරියොදපනං එතං බුද්ධානුසාසනං.
(දීඝ නි. මහාපදාන සු.)
(1) ලෝකයෙහි මනා කොට හැසිරිය හැකි වීමට තමන්ට ම හෝ නුවණ තිබිය යුතු ය. එසේ නැති නම් උගෙනීම හෝ තිබිය යුතු ය. ඒ දෙකින් එකකුදු නැති බොහෝ ජනයෝ වනයෙහි හැසිරෙන අන්ධ මීමන් සේ ලොව හැසිරෙති.
(2) උත්පත්තියෙන් පිහිටි නුවණ නැත ද ගුරුන් ගේ සමීපයෙහි උගෙනීමෙන් නුවණ ලැබූ පුද්ගලයෝ කලබල නැතිව ලොව මනා කොට හැසිරෙති.
(3) සියලු ම පව් නො කළ යුතු ය. කුසල් කළ යුතු ය. තමන් ගේ සිත පිරිසිදු කර ගත යුතු ය. මේ කරුණු තුන බුදුවරයන් වහන්සේ ගේ අනුශාසනය ය.
4. ආරොග්‍ය මිච්ඡෙ පරමඤ්ච ලාභං
සීලඤ්ච වුච්ධානුමතං සුතඤ්ච,
ධම්මානුවත්තී ච අලීනතා ච
අත්ථස්ස ද්වාරා පමුඛා ජළෙතෙ.
(එ.නි. අත්ථස්සද්වාර ජා.)
5. උට්ඨාතා කම්ම ධෙය්‍යෙසු අප්පමත්තො විධානවා,
සමං කප්පෙති ජීවිකං සම්භතං අනුරක්ඛති.
6. සද්ධො සීලෙන සම්පන්නො වදඤ්ඤූ වීත මච්ඡරො,
නිච්චං මග්ගං විසොධෙති සොත්ථානං සම්පරායිකං.
7. ඉච්චෙතෙ අට්ඨ ධම්මා ච සද්ධස්ස ඝරමෙසිනො,
අක්ඛාතා සච්ච නාමෙන උභයත්ථ සුඛාවහා.
(අංගුත්තර අට්ඨක නි.)
(4) උතුම් ලාභය වූ නිරෝග බව ලැබිය යුතු ය. චාරිත්‍ර ශීලයෙහි පිහිටිය යුතු ය. ගුණනුවණින් වැඩි උතුමන්ගේ අනුශාසනා ලැබිය යුතු ය. උගත් කම ඇති කර ගත යුතු ය. ධර්‍මයට අනුව හැසිරිය යුතු ය. අනලස විය යුතු ය. මේ සය දියුණුවේ උසස් හේතූහු ය.
(5-6-7) වැඩ කිරීමේ දී නො පසුබස්නා වීර්‍ය්‍යයෙන් යුක්තවීම ය, ප්‍රමාද නො වූ සුදුසු කලට කටයුතු යොදා ගැනීම ඇතියකු වීම ය, අය වැය දෙක සලකා සමව ජීවිකාව කිරීම ය, ලැබූ ධනය විනාශ වන්නට නොදී ආරක්ෂා කර ගැනීම ය, ශ්‍රද්ධාවෙන් යුක්ත වීම ය, සීලයෙන් යුක්ත වීම ය, නො මසුරු වීම ය, පරලොව සැපලැබීමේ මාර්ගය පිරිසිදු කර ගත හැකි නුවණ ඇති කර ගැනීම ය යන මේ අට ගිහි ගෙයි වාසය කරන්නා වූ තැනැත්තාහට සත්‍ය වශයෙන් ම දෙලොව වැඩ සැලසෙන කරුණු ය.
8. පණ්ඩිතො සීලසම්පන්නො ජලමග්ගී ව භාසති,
භොගො සංහරමානස්ස භමරස්සේ ව ඉරියතො,
භොගා සන්නිචයං යන්ති වම්මිකො වූපචීයති.
9. එවං භොගෙ සමාහත්වා අලමත්තො කුලෙ ගිහි,
චතුධා විභජෙ භොගෙ ස වෙ මිත්තානි ගන්ථති.
10. එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය ද්වීභි කම්මං පයොජයෙ,
චතුත්ථං ච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති.
(දීඝ නි. සිඟාල සු.)
(8) පණ්ඩිත වූ සිල්වත් වූ තැනැත්තේ කඳු මුදුනක ඇවිලෙන ගින්නක් සේ ජනයා අතර බබලයි. මල් නොතලා රොන් ගෙන මී බිඳින්නා වූ බඹරා මෙන් අනුන් නො පෙළා දැහැමින් සෙමෙන් වීර්‍ය්‍ය කරන්නා වූ තැනැත්තා හට තුඹසක් බැඳෙන්නාක් මෙන් ධනය රැස් වන්නේ ය.
(9-10) ධන සැපයීමට සමර්‍ථ වූ තැනැත්තා විසින් මෙසේ ධනය සපයා ඒවා සතරට බෙදිය යුතු ය. ඉන් එක් කොටසකින් තමා ප්‍රයෝජනය ගත යුතු ය. දෙකොටසක් කර්‍මාන්තවලට යෙදිය යුතු ය. විපතකදී ගැනීමට එක් කොටසක් ඉතිරි කර ගත යුතු ය. එසේ කරන්නා වූ තැනැත්තා හට අන්‍යයන් හා මිත්‍රත්වය පවත්වා ගත හැකි වන්නේ ය.
11. මාතා පිතු කිච්චකරො පුත්තදාර හිතො සදා,
අන්තො ජනස්ස අත්ථාය යො චස්ස අනුජීවිනො.
12. උභින්නං යෙව අත්ථාය වදඤ්ඤූ හොති සීලවා,
ඤාතීනං පුබ්බපෙතානං දිට්ඨධම්මෙ ච ජීවිනං.
13. සමණානං බ්‍රාහ්මණානං දෙවතානඤ්ච පණ්ඩිතො,
විත්ති සඤ්ජනනො හොති ධම්මේන ඝර මාවසං.
14. සො කරිත්වාන කල්‍යාණං පුජ්ජො හොති පසංසියො,
ඉධෙ ව නං පසංසන්ති පෙච්ච සග්ගෙ පමොදතී.
(අංගුත්තර පංචක නි.)
(11-12-13-14) ධර්මයෙන් ගිහි ගෙයි වෙසෙන පණ්ඩිත වූ යමෙක් මාපියන්ගේ වැඩ කරන්නේ වේ ද, හැම කල්හි ම අඹුදරුවන්ට හිතවත් වේ ද, අඹුදරුවෝ ය, තමා නිසා ජීවත් වන කම්කරුවෝ ය යන දෙකොටසගේ ම යහපත පිණිස ඔවුන් ගේ ඕනෑ එපා කම් සලකන්නේ වේ ද, සිල්වත් වේ ද, සුදුසු පරිදි සංග්‍රහ කිරීමෙන් ජීවත් වන නෑයන්ට ද පින්පෙත් දීමෙන් පරලෝ සැපත් නෑයන්ට ද, ප්‍රත්‍යය පිරිනැමීමෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ද, පින්පෙත් දීම් ආදියෙන් දෙවියන්ට ද සතුට ඇති කරන්නේ වේ ද, හෙතෙමේ එසේ යහපත කොට පූජ්‍ය වන්නේ ය. ප්‍රශංසාර්හ වන්නේ ය. මෙලොව දී ඔහුට පණ්ඩිතයෝ පසසති. මරණින් පසු හේ ස්වර්ගයේ සතුටු වේ.
15. භුත්තා භොගා භතා භච්චා විතිණ්ණා ආපදාසු මෙ,
උද්ධග්ගා දක්ඛිණා දින්නා අථො පඤ්ච බලීකතා,
උපට්ඨිතා සීලවන්තො සඤ්ඤතා බ්‍රහ්මචාරයො.
16. යදත්ථං භොගං ඉච්ඡෙය්‍ය පණ්ඩිතො ඝර මාවසං,
සො මෙ අත්ථො අනුප්පත්තො කතං අනනුතාපියං.
17. එතං අනුස්සරං මච්චො අරියධම්මෙ ඨිතො නරො,
ඉධෙ ව නං පසංසන්ති පෙච්ච සග්ගෙ පමොදති.
(අංගුත්තර චතුක්ක නි.)
18. පණ්ඩිතො සීලසම්පන්නො සණ්හො ච පටිභාණවා,
නිවාත වුත්ති අත්ථද්ධො තාදිසො ලභතෙ යසං.
(15-16-17) ලැබූ ධනය නොකා නොබී සඟවා තබා ගෙන සිට අපතේ යන්නට නො හැර එයින් ගත හැකි ප්‍රයෝජනය ගත්තා වූ ද, තමා විසින් පෝෂණය කළ යුතු මාපියාදීන් ඒ ධනයෙන් පෝෂණය කළා වූ ද, ධනය නො නැසී පැවැත්වීමට ආරක්ෂාව පිහිටුවා ගත්තා වූ ද, දෙව්ලොව යාමට හේතු වන දන් පින් කළා වූ ද, නෑයෝ ය, ආගන්තුකයෝ ය, මිය පරලොව ගියෝ ය, රජවරු ය, දේවතාවෝ ය යන පස් කොටසකට දිය යුතු දෑ දුන්නා වූ ද, සිල්වතුන්ට උපස්ථාන කළා වූ ද, තැනැත්තා හට නුවණැතියකු විසින් යමක් සඳහා ධනය සෙවිය යුතු ද ඒ සියල්ල මා විසින් කරන ලද්දේ ය යි සතුටු වන්නට ලැබෙන්නේ ය. ඒ තැනැත්තා හට නුවණැත්තෝ පසස්නාහ. මරණින් මතු හෙතෙමේ ස්වර්ගයේ සතුටු වන්නේ ය.
(18) පණ්ඩිත වූ ද, සිල්වත් වූ ද, මෘදු වූ ද, වැටහීම ඇත්තා වූ ද, උඩඟු නො වූ ද තැනැත්තේ යසස් ලබා.
19. උට්ඨානකො අනලසො ආපදාසු න වෙධති
අච්ඡිද්ද වුත්ති මෙධාවී තාදිසො ලභතෙ යසං.
20. සඞ්ගාහකො මිත්තකරො වදඤ්ඤූ වීතමච්ඡරො,
නෙතා විනෙතා අනුනෙතා තාදිසො ලභතෙ යසං.
21. දානඤ්ච පෙය්‍යවජ්ජඤ්ච අත්ථචරියා ච යා ඉධ,
සමානත්තතා ච ධම්මේසු තත්ථ තත්ථ යථාරහං
එතෙ ඛො සඞ්ගහා ලොකො රථස්සාණී ව යායතො.
22. එතෙ ච සඞ්ගහා නාස්සු න මාතා පුත්තකාරණා,
ලභෙථ මානං පූජං වා පිතා වා පුත්ත කාරණා.
(19) වීය්‍යවත් වූ ද, අනලස වූ ද, විපතෙහි කම්පා නොවන්නා වූ ද, නොකඩ කොට වැඩ කරන්නා වූ ද, ස්ථානෝචිත ප්‍රඥාව ඇත්තා වූ ද, තැනැත්තේ යසස් ලබා.
(20) චතුර් සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන්නා වූ ද, මිත්‍රයන් ඇති කර ගන්නා වූ ද, මිතුරන්ට ප්‍රත්‍යුපකාර කරන්නා වූ ද, නො මසුරු වූ ද, අන්‍යයන්ට අර්‍ථයෙන් ධර්‍මයෙන් අනුශාසනය කරන්නා වූ ද තැනැත්තේ යසස් ලබා.
(21) දීම ය, ප්‍රිය වචන ය, දියුණුව පිළිබඳ කථාව ය, අනෙකා දුක් විඳිත් දී තමා සැප නො විඳ අන්‍යයන් හා සුවදුක් දෙක්හි සම ව පැවැත්ම ය යන මේ සතර සංග්‍රහය ගමන් කරන කරත්තයකට කඩ ඇණය මෙන් ලෝකයට උපකාරක ය.
(22) මේ සංග්‍රහයෝ ලොව නැත්තාහු නම් මව පුතා ගෙන් සිතින් ආදර කිරීමක් හෝ පූජාවක් හෝ නො ලබන්නී ය. පියා ද පුතා ගෙන් නො ලබන්නේ ය.
23. යස්මා ච සඞ්ගහෙ එතෙ සමවෙක්ඛන්ති පණ්ඩිතා,
තස්මා මහත්තං පප්පොන්ති පාසංසා ච
භවන්ති තෙ,
(සිඟාල සුත්තං)
24. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං
අති වත්තති,
නිහීයති තස්ස යසො කාලපක්ඛෙව චන්දිමා
25. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං නාති වත්තති,
ආපූරති තස්ස යසො සුක්ක පක්ඛෙව චන්දිමා.
(සිඟාල සුත්තං)
26. ඡ ලොකස්මිං ජිද්දානි යත්ථ විත්තං න තිට්ඨති,
ආලස්සං ච පමාදො ච අනුට්ඨානං අසඤ්ඤමො,
නින්දා තන්දිති තෙ ඡිද්දේ සම්බසො නං විවජ්ජයෙ,
(සංයුත්ත නි.)
(23) යම් හෙයකින් පණ්ඩිතයෝ මේ සංග්‍රහයන් මනා කොට කෙරෙත් ද එ බැවින් ඔව්හු මහත් බවට පැමිණෙති. ප්‍රශංසාවට ද භාජන වෙති.
(24) ඡන්දයෙන් හෝ ද්වේෂයෙන් හෝ භයින් හෝ මෝහයෙන් හෝ යමෙක් ධර්‍මය ඉක්මවා ද ඔහු ගේ යසස කාලපක්‍ෂයෙහි චන්ද්‍රයා මෙන් පිරිහෙන්නේ ය.
(25) ඡන්දයෙන් හෝ ද්වේෂයෙන් හෝ භයින් හෝ මෝහයෙන් හෝ යමෙක් ධර්‍මය නො ඉක්මවා ද ඔහු ගේ යසස ශුක්ලපක්‍ෂයෙහි චන්ද්‍රයා මෙන් වැඩෙන්නේ ය.
(26) ධනය නො සිටින සිදුරු සයකි. ඒවා නම් අලස බව ය, ප්‍රමාදය ය, වැඩ කිරීමේ වීර්‍ය්‍ය නැති බව ය, ආචාර ශීලයෙන් තොර බව ය, නිදි බහුල බව ය, ආගන්තුක අලස බව ය යන මොහු ය. ඒවා සර්‍වාකාරයෙන් දුරු කළ යුතු ය.
27. උස්සූරසෙය්‍යා පරදාර සෙවනං
වෙරප්පසඞ්ගො ච අනත්ථතා ච,
පාපා ච මිත්තා සුකදරියතා ච
එතෙ ඡ ඨානා පුරිසං ධංසයන්ති.
28. පාපමිත්තො පාපසඛො පාප ආචාර ගොචරො,
අස්මා ලොකා පරම්හා ච උභයා ධංසතෙ නරො.
29. අක්ඛිත්තියො වාරුණී නච්චගීතං
දිවා සොප්පං පාරිචරියා අකාලෙ,
පාපා ච මිත්තා සුකදරියතා ච
එතෙ ඡ ඨානා පුරිසං ධංසයන්ති.
30. අක්ඛෙහි දිබ්බන්ති සුරා පිචන්ති
සන්තිත්ථියො පාණ සමා පරෙසං,
නිහීන සෙවී න ච වුද්ධසෙවී
නිහීයති කාලපක්ඛෙ ව චන්දිමා
(27) හිරු උදාවන තෙක් නිදීම ය, පරදාර සේවනය ය, අනුන්ට වෛර කිරීම ය, අනර්ථය පිණිස පවත්නා ක්‍රියා කිරීම ය, පාපමිත්‍ර සේවනය ය, තද මසුරුකම ය යන මේ කරුණු සය මිනිසා විනාශ කරන්නේ ය.
(28) නො මනා මිතුරන් භජනය කරන්නා වූ නොමනා වැඩ කරන්නා වූ සුරාපාන ස්ථානාදී නො මනා තැන්වල හැසිරෙන්නා වූ තැනැත්තේ මෙලොව පරලොව දෙකින් ම පිරිහෙන්නේ ය.
(29) සූදුව හා නුසුදුසු ස්ත්‍රී සේවනය ය, මත්පැන් පානයෙහි හා නෘත්‍යගීතයෙහි ඇලීම ය, දහවල් නිදීම ය, නොමනා වැඩ සඳහා නො කල්හි ඇවිදීම ය, නො මනා මිතුරන් ඇති බව ය, තද මසුරු බව ය යන මේ කරුණු සය මිනිසා නසන්නේ ය.
(30) යමෙක් පසැටයෙන් ක්‍රීඩා කෙරේ ද හෙවත් සූදුවෙහි යෙදේ ද, සුරා පානය කෙරේ ද, ප්‍රාණය වැනි අනුන් ගේ ස්ත්‍රීන් සේවනය කෙරේ ද, ගුණහීනයන් සේවනය කෙරේ ද, වෘද්ධයන් සේවනය නො කෙරේ ද හෙතෙමේ කාලපක්ෂයෙහි චන්ද්‍රයා මෙන් පිරිහේ.
31. යො වාරුණී අධනො අකිඤ්චනො
පිපාසො පිවං පපාගතො
උදක මිව ඉණං විගාහති
අකුලං කාහති ඛිප්ප මත්තනො.
32. න දිවා සොප්පන සීලෙන රත්ති නුට්ඨාන දස්සිනා
නිච්චං මත්තෙන සොණ්ඩෙන සක්කා ආවසිතුං ඝරං
(සිඟාල සුත්ත.)
33. දස ඛලූ ඉමානි ඨානානි යානි පුබ්බෙ අකරිත්වා,
ස පච්ඡා මනුතප්පති ඉච්චේවාහ ජනසන්ධො.
34. අලද්ධා විත්තං තප්පති පුබ්බෙ අසමුදානිතං,
න පුබ්බෙ ධන මෙසිස්සං ඉති පච්ඡා නුතපත්ති.
(31) ධනය නැති පරිභෝගුපකරණ නැති යමෙක් සුරාවට ලොල් ව සුරාපානයට පටන් ගත්තේ වේ නම්, හෙ තෙමේ වතුරට යට වන්නාක් මෙන් ණයට යට වී තමාගේ පවුල පිරිහෙවන්නේ ය.
(32) දවල් නිදන ස්වභාවය ඇත්තා වූ, රාත්‍රියෙහි නො නැගී සිටින ස්වභාවය ඇත්තා වූ, නිතර මත්වන ස්වභාවය ඇත්තා වූ සුරාවට ලොල් වූ තැනැත්තා හට ගිහි ගෙයි නො විසිය හැකි ය.
(33) මෙම කරුණු දසය කලින් නො කරන්නා වූ තැනැත්තා හට පසුව තැවෙන්නට වේය යි මහ බෝසත් ජනසන්ධ රජතුමා අනුශාසනය කෙළේ ය.
(34) ධනය සැපයිය හැකි තරුණ කාලයේදී ධනය නො සැපයූ තැනැත්තේ මම පෙර වැඩ කළ හැකි කාලයේ දී ධනය සපයා නො ගතිමි’ යි මහලු කාලයේ දී තැවෙන්නේ ය.
35 සක්‍යරූපං පුරෙ සන්තං මයා සිප්පං න සික්ඛිතං,
කච්ඡා වුත්ති අප්පසිප්පස්ස ඉති පච්ඡානුතප්පති.
36. කූටවෙදී පුරෙ ආසිං පිසුණො පිට්ඨිමංසිකො
චණ්ඩො ච ඵරුසො චාසිං ඉති පච්ඡානුතප්පති.
37. පාණාතිපාතී පුරෙ ආසිං ලුද්දො වා පි අනාරියො
භූතානං නා පචායිස්සං ඉති පච්ඡානුතප්පති.
38. බහූසු වත සන්තීසූ අනාපාදාසු ඉත්ථිසු,
පරදාරං අසෙවිස්සං ඉති පච්ඡානුතප්පති.
39. බහුම්හි වත සන්තම්හි අන්නපානෙ උපට්ඨිතෙ,
න පුබ්බෙ අදදිං දානං ඉති පච්ඡානුතප්පති.
(35) බාලකාලයේ දී ශිල්පයක් නූගත් තැනැත්තේ පෙර පුළුවන්කම තිබියදී මා විසින් ශිල්ප නූගන්නා ලද්දේ ය, ශිල්ප නොදත් තැනැත්තා හට ජීවත්වීම අපහසු යයි මහලු කාලයේ දී තැවෙන්නේ ය.
(36) පෙර මම කපටිකම් කෙළෙමි ය, කේලාම් කියන්නෙක් වීමි ය, අල්ලස් ගන්නක් වූයෙමි ය, නපුරෙක් වූයෙමි ය යි ඒවා කළ තැනැත්තේ මරණාසන්නයේ දී තැවෙන්නේ ය.
(37) මම පෙර සතුන් මරන්නෙක් වූයෙමි ය, නපුරෙක් වූයෙමි ය, පව් කම් කරන්නෙක් වූයෙමි ය, සත්ත්වයන් කෙරෙහි හොඳ හිත නො පැවැත්වූයෙමි ය යි එසේ කළ තැනැත්තේ මරණාසන්නයේ දී තැවෙන්නේ ය.
(38) ලෝකයෙහි සැමියන් නැති ස්ත්‍රීන් බොහෝ සිටිය දී මම පරදාර සේවනය කෙළෙමි යි පරදාර සේවනය කළ තැනැත්තේ මරණාසන්නයේ දී තැවෙන්නේ ය.
(39) බොහෝ ආහාරපානයන් ඇති ව සිට මම දන් නුදුන්නෙමි යි නුදුන් තැනැත්තේ මරණාසන්නයේ දී තැවෙන්නේ ය.
40. මාතරං පිතරඤ්චාපි ජිණ්ණකං ගත යොබ්බනං,
පහු සන්තො න පොසිස්සං ඉති පච්ඡානුතප්පති.
41. ආචරිය මනුසත්ථාරං සබ්බ කාම රසා හරං,
පිතරං අතිමඤ්ඤිස්සං ඉති පචඡානුතප්පති.
42. සමණෙ බ්‍රාහ්මණෙ චා පි සීලවන්තෙ බහුස්සුතෙ,
න පුබ්බෙ පයිරුපාසිස්සං ඉති පච්ඡානුතප්පති.
43. සාධු හොති තපො චිණ්ණො සන්තො ච පයිරුපාසිතො,
න ච පුබ්බේ තපො චිණ්ණො ඉති පච්ඡානුතප්පති.
44. යො ච එතානි ඨානානි යොනිසො පටිපජ්ජති,
කරං පුරිස කිච්ඡානි ස පච්ඡා නා නුතප්පති.
(12. නි, ජනසන්ධ ජා.)
(40) මම පෙර කායබලය හා ධනබලයත් ඇති ව සිට ද මහලු වී දුබල ව විසූ මාපියන් පෝෂණය නො කෙළෙමි යි මාපිය උපස්ථානය නො කළ තැනැත්තේ පසු කාලයේ දී තැවෙන්නේ ය.
(41) මාගේ ආචාර්‍ය්‍ය වූ ද අනුසාසක වූ ද කැමති සියලු රසයන් ගෙන දී මා පෝෂණය කළා වූ ද මාගේ පියාණන්ට මම අකීකරු වීමි යි එ සේ කළ තැනැත්තේ පසු කාලයේ දී තැවෙන්නේ ය.
(42) උගත් සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මම පෙර ඇසුරු නො කෙළෙමි යි එසේ නො කළ තැනැත්තේ පසුව තැවෙන්නේ ය.
(43) සුචරිතයෙහි හැසුරුණේ නම් ඉතා මැනව, සත් පුරුෂයන් සේවනය කරන ලද්දේ නම් මැනව, මා ඒ එකකුත් නො කරන ලද්දේය යි ප්‍රමාද වූ තැනැත්තේ මරණාසන්නයේ දී පසු තැවෙන්නේ ය.
(44) යමෙක් මේ කරුණු දශය නුවණින් සම්පූර්‍ණ කෙරේ ද මිනිසකු විසින් කළ යුතු දෑ සම්පූර්‍ණ කරගත්තා වූ හෙතෙමේ මහලු කාලයේ දී හා මරණාසන්නයේ දී නො පසුතැවෙන්නේ ය.
45. යස්සෙ තෙ චතුරො ධම්මා සද්ධස්ස ඝර මෙසිනො,
සච්චං ධම්මො ධිතී චාගො ස වෙ පෙච්ච න සොචති.
(සුත්තනිපාත ආලවක සු.)
46. සකි දෙව සුතසොම සබ්භි හොති සමාගමො,
සා නං සඞ්ගති පාලෙති නා සබ්භි බහු සඞ්ගමො.
47. සබ්භිරෙ ව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යො හොති න පාපියො.
48. ජිරන්ති වෙ රාජරථා සුචිත්තා
අථො සරීරම්පි ජරං උපෙති.
සතඤ්ච ධම්මො න ජරං උපෙති
සන්තො හවෙ සබ්භි පවෙදයන්ති.
(45) යම් කිසි සැදැහැවත් ගිහියකුට සත්‍යය ය, ධර්‍මය ය, ධෛර්‍ය්‍යය ය, ත්‍යාගය ය යන මේ කරුණු සතර ඇත්තේ නම් ඔහුට මරණින් මතු ශෝක කරන්නට නො වන්නේ ය.
(46) සුතසෝම රජතුමාණෙනි, එක් වරෙක වුව ද සත්පුරුෂයන් හා සමාගමයක් වුව හොත් එය ඔහුට පිහිට වන්නේ ය. අසත්පුරුෂයන් හා කොතෙක් එක් වීම් සිදු වුව ද ඒවායින් පිහිටක් නො වන්නේ ය.
(47) සත්පුරුෂයන් හා එක් විය යුතු ය. මිතුරුකම් පැවැත්විය යුතු ය. සත්පුරුෂයන් ගේ ධර්‍මය දැනගැනීමෙන් යහපතක් ම වන්නේ ය. නපුරක් නො වන්නේ ය.
(48) මොනවට විසිතුරු කරන ලද රාජරථයෝ ද ඒකාන්තයෙන් දිරන්නාහ. ශරීරය ද දිරන්නේ ය. බුද්ධාදි සත්පුරුෂයෝ යම් නිර්‍වාණයක් ප්‍රකාශ කෙරෙත්ද ඒ නිවන කිසි කලෙක නො දිරන්නේ ය.
49. නභඤ්ච දූරෙ පඨවී ච දූරෙ
පාරං සමුද්දස්ස තදාහු දූරෙ,
තතො හවෙ දූරතරා වදන්ති
සතඤ්ච ධම්මො අසතඤ්ච රාජ.
(80 නි. මහාසුතසෝම ජා.)
50. ධඤ්ඤං ධනං රජතං ජාතරූපං
පරිග්ගහඤ්චා පි යදත්ථි කිඤ්චි,
දාසා කම්මකරා පෙස්සා යෙ චස්ස අනුජීවිනො,
සබ්බං නාදාය ගන්තබ්බං සබ්බං නික්ඛිප්ප ගාමියං.
51. යඤ්ච කරොති කායෙන වාචාය උදචෙතසා
තඤ්හි තස්ස සකං හොති තඤ්ච ආදාය ගච්ඡති,
තඤ්චස්ස අනුගං හොති ඡායා ව අනපායිනි.
(49) අහස හා පොළොව ස්වභාවයෙන් එකිනෙකට බොහෝ දුර ය, සමුද්‍රයාගේ එතර හා මෙතර ද එකිනෙකට ඉතා දුර ය. රජතුමාණෙනි, ඒ හැමට ම වඩා සත් පුරුෂ ධර්‍මය හා අසත්පුරුෂ ධර්‍මය එකිනෙකට දුර ය.
(50) ධාන්‍ය ය ධනය ය රිදීය රන්ය තවත් ඇත්තා වූ වස්තුව ය යන සියල්ල ද දාසයෝ ය කම්කරුවෝ ය පණිවිඩ කරුවෝ ය තවත් තමා නිසා ජීවත් වන්නෝ ය යන සැම දෙන ම ද මරණින් ඔබ්බට නො ගෙන යා හැකි ය. මරණයේ දී සියල්ල ම හැර යා යුතු ය.
(51) කයින් හා වචනයෙන් ද සිතින් ද යමක් කෙරේ නම් එය ම ඒ තැනැත්තාට සත්‍ය වශයෙන් අයිති දෙය වෙයි. මරණින් ඔබ්බට ඔහු එ පමණක් ම ගෙන යයි. නො හැර ම අනුව එන ඡායාව මෙන් ඒ කර්‍මය ම ඔහු අනුව යන්නේ ය.
52. තස්මා කරෙය්‍ය කල්‍යාණං නිචයං සම්පරායිකං,
පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනං.
(කෝසල සංයුත්ත.)
53. ධනං චජෙ යො පන අඞ්ග හෙතු
අඞ්ගං චජෙ ජීවිතං රක්ඛමානො,
අඞ්ගං ධනං ජීවිතඤ්චාපි සබ්බං
චජෙ නරො ධම්ම මනුස්සරන්නො.
(80 නි. මහා සුතසෝම ජා.)
54. ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං
ධම්මො සුචිණ්ණො සුඛමාවහාති,
එසානිසංසො ධම්මේ සුචිණ්ණෙ
න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී.
(52) එ හෙයින් මතුවට පිහිට වන පින් රැස් කළ යුතු ය. සත්ත්වයනට පරලෙව්හි දී පිහිට වන්නේ පින් ය.
(53) ශරීරාවයවයන් රක්‍ෂා කරනු පිණිස බොහෝ ධනය වුව ද වියදම් කරන්නේ ය. ජීවිතය රකිනු පිණිස ශරීරාවයවයන් වුව ද පරිත්‍යාග කරන්නේ ය. ධර්‍මය සිහි කරන්නා වූ තැනැත්තේ එය රකිනු පිණිස ධනය ශරීරාවයවය ජීවිතය යන සියල්ල ම පරිත්‍යාග කරන්නේ ය.
(54) ධර්‍මය තෙමේ ධර්‍මයෙහි හැසිරෙන තැනැත්තා රක්නේ ය. මනා කොට පිළිපදිනා ලද ධර්‍මය තෙමේ ඒ පුද්ගලයාට සැප ගෙන දෙන්නේ ය. ධර්‍මයෙහි හැසිරෙන තැනැත්තේ දුර්ගතියට නො යන්නේ ය. එය ධර්‍මයෙහි හැසිරීමේ ආනිසංසය ය.
55. නහි ධම්මො අධම්මො ච උභො සම විපාකිනො
අධම්මො නිරයං නෙති ධම්මො පාපෙති සුග්ගතිං
(20 නි. අයෝඝර ජා.)
56. කම්ම විජ්ජා ච ධම්මො ච සීලං ජීවිත මුත්තමං
එතෙන මච්චා සුජ්ඣන්ති න ගොත්තේන ධනෙන වා
(දෙවතා සංයුත්ත.)
57. වාචං මනං ච පණිදාය සම්මා
කායෙන පාපානි අකුබ්බමානො,
බව්හන්න පානං ඝර මාවසන්තො
සද්ධො මුදු සංවිභාගී වදඤ්ඤු
සඞ්ගාහකො සඛිලො සණ්හවාචො
එත්ත ඨිතො පරලොකං න භායෙ.
(11 නි. උදය ජා.)
(55) ධර්‍මය ද අධර්‍මය ද යන දෙක සමාන විපාක ඇත්තේ නොවේ. අධර්‍මය සත්ත්වයා නරකයට ගෙන යන්නේ ය. ධර්‍මය සුගතියට පමුණුවන්නේ ය.
(56) කර්‍මය ය, ප්‍රඥාව ය, වීර්‍ය්‍යසමාධ්‍යාදී ධර්‍මය ය, සිල් ඇති උතුම් ජීවිතය ය යන මේවායින් මිනිසුන් ශුද්ධ වෙති. කුලයෙන් හෝ ධනයෙන් ශුද්ධ නො වෙති.
(57) කය වචන සිත යන තුන් දොරින් ම පව් නො කළ යුතු ය. සැදැහැවත් වූ ද මෘදු වූ ද දෙන සුලු වූ ද ප්‍රතිග්‍රාහකයන් ගේ අදහස දැන ක්‍රියා කරන්නා වූ ද චතුර් සංග්‍රහ වස්තුවෙන් ජනයාට සංග්‍රහ කරන්නා වූ ද ප්‍රිය කථා ඇත්තා වූ ද මෘදු කථා ඇත්තා වූ ද කෙනකු විය යුතු ය. ඒ ගුණයන්හි පිහිටි සත්පුරුෂයාට පරලොව ගැන බිය වීමට කරුණක් නැත.
58. යස්සෙතෙ චතුරො ධම්මා වානරින්ද යථා තව,
සච්චං ධම්මො ධිති චාගො දිට්ඨං සො අතිවත්තති.
(1 නි. වානරින්ද ජා.)
59. යස්ස එතෙ තයො ධම්මා වානරින්ද යථා තව,
දක්ඛියං සූරියං පඤ්ඤං දිට්ඨං සො අතිවත්තති.
(1 නි. තයෝධම්ම ජා.)
60. උක්කට්ඨෙ සූර මිච්ඡන්ති මන්තීසු අකුතූහලං
පියෙ ච අන්නපානම්හි අත්ථෙ ජාතෙ ච පණ්ඩිතං.
(1 නි. මහාසාර ජා.)
(58) වානරේන්ද්‍ර, ඔබට මෙන් යමකුට සත්‍යය ය, ඒ ඒ දෙයෙහි තතු දත හැකි ප්‍රඥාව ය, නො පසුබස්නා වීර්‍ය්‍යය ය, ආත්ම පරිත්‍යාගය ය යන මේ ධර්‍ම සතර ඇත්තේ නම් හේ සතුරන් මැඩ ජය ගන්නේ ය.
(59) වානරේන්ද්‍ර, යමකුට ක්‍රියාවෙහි දක්‍ෂ බවය, නිර්භීත බවය, නුවණ ය යන මේ කරුණු තුන ඇත්තේ නම් හෙ තෙමේ සතුරන් දිනන්නේ ය.
(60) යුඬයක් පැමිණි කල්හි නිර්භීත පුද්ගලයකු කැමති වන්නාහ. කළ යුතු නො කළ යුතු දෙයක් පිළිබඳ මන්ත්‍රණයක් ඇති වූ කල්හි කාරණය නො බිඳින යහපත් කථා ඇති මන්ත්‍රී කෙනකු කැමති වන්නාහ. ආහාරපාන ලත් කල්හි ප්‍රිය පුද්ගලයන් කැමති වන්නාහ. ගැඹුරු කරුණක් ඇති වූ කල්හි පණ්ඩිතයකු කැමති වන්නාහ.
61. යො පාණ භූතෙසු අහෙඨයං චරං
පරූපවාදා න කරොති පාපං,
භීරුං පසංසන්ති න තත්ථ සූරං
භයා හි සන්තො න කරොති පාපං.
(සංයුත්ත නිකාය)
62. දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායති,
යත්ථ සො ජායතෙ ධීරො තං කුලං සුඛමෙධති.
(ධ. බුද්ධ වග්ග.)
63. අත්ථම්හි ජාතම්හි සුඛා සහායා
තුට්ඨි සුඛා යා ඉතරීතරෙන,
පුඤ්ඤං සුඛං ජීවිත සඞ්ඛයම්හි
සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහාණං.
(61) සත්ත්වයන්ට හිංසා නො කරමින් හැසිරෙන යමෙක් පරූපවාදයට බියෙන් පව් නො කෙරේ ද මේ කාරණයෙහි ලා බියසුල්ලාට ම පණ්ඩිතයෝ පසසති. ශූරයාට නො පසසති. සත්පුරුෂයෝ බිය නිසා පව් නො කරති.
(62) පුරුෂජානේයයන් ගේ පහළවීම දුර්ලභ ය. යම් තැනක හෙතෙම් උපන්නේ නම් ඒ කුලය එයින් සැපතට පැමිණෙන්නේ ය.
(63) කළ යුත්තක් පැමිණි කල්හි යහළුවන් ඇති බව සැපයෙකි. ලද දෙයින් සතුටුවීම සැපයෙකි. ජීවිත කෙළවරේ දී පින් ඇති බව සැපයෙකි. සියලු දුක් නසන අර්හත් ඵලය සැපයෙකි.
64. සුඛා මත්තෙය්‍යතා ලොකෙ අථො
පෙත්තෙය්‍යතා සුඛා,
සුඛා සාමඤ්ඤතා ලොකෙ අථො බ්‍රහ්මඤ්ඤතා සුඛා.
65. සුඛං යාව ජරා සීලං සුඛා සද්ධා පතිට්ඨිතා,
සුඛො පඤ්ඤාය පටිලාභො පාපස්සාකරණං සුඛං.
(ධ. නාග වග්ග.)
66. සුඛො බුද්ධානමුප්පාදො සුඛා සද්ධම්ම දෙසනා
සුඛා සඞ්ඝස්ස සාමග්ගි සමග්ගානං තපො සුඛො.
(ධ. බුද්ධ වග්ග.)
67. මත්තා සුඛ පරිච්චාගා පස්සෙ චෙ විපුලං සුඛං,
චජෙ මත්තා සුඛං ධීරො සම්පස්සං විපුලං සුඛං
(ධ. පකිණ්ණක වග්ග.)
(64) ලෝකයෙහි මවට උපස්ථාන කරන බව ද සැපයට කරුණකි. පියාට උපස්ථාන කරන බව ද සැපයට කරුණෙකි. පැවිද්දන්ට උපස්ථාන කරන බව ද සැපයට කරුණෙකි. පව් දුරු කළ බුදු පසේබුදුවරයන්ට බුද්ධශ්‍රාවකයන්ට උපස්ථාන කිරීම ද සැපයට කරුණෙකි.
(65) ශීලය ජරාව දක්වා ම සැපයට කරුණෙකි. මනා කොට පිහිටි ශ්‍රඬාව සැපයට කරුණෙකි. ප්‍රඥාව ලැබීම සැපයට කරුණෙකි. පව් නො කිරීම ද සැපයට කරුණෙකි.
(66) බුදුවරයන් වහන්සේලා ගේ ඉපදීම සැපයට කරුණෙකි. සදහම් දේශනය සැපයට කරුණෙකි. සඞ්ඝයා ගේ සමගිය සැපයට කරුණෙකි. සමගි වූවන්ට තපස සැප එළවන්නේ ය.
(67) කුඩා සැප හැර දැමීමෙන් මහත් වූ සැප ලැබිය හැකි බව දක්නේ නම් නුවණැත්තේ මහත් වූ සැප ලැබීම පිණිස ඒ ඒ වේලාවට ලැබිය හැකි කුඩා සැප හරනේ ය.
68. ආරොග්‍ය පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං,
විස්සාසා පරමා ඤාතී නිබ්බානං පරමං සුඛං
(ධ. සුඛ වග්ග.)
69. සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මො සුචිණ්ණො සුඛමාවහාති,
සච්චං හවෙ සාදුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨං
(සංයුත්ත.)
70. කිච්ඡො මනුස්ස පටිලාභො කිච්ඡං මච්චාන ජීවිතං,
කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡො බුද්ධානමුප්පාදො.
(ධ. බුද්ධ වග්ග.)
(68) නිරෝග බව උතුම් ලාභයෙකි. ලද දෙයින් සතුටු වන බව උතුම් ධනයෙකි. නො නෑ වුව ද විශ්වාසයා උතුම් නෑයා ය. නිවන උතුම් සැපය ය.
(69) ශ්‍රඬාව මිනිසාට උතුම් ධනයෙකි. මනා කොට කරන ලද කුසල ධර්‍මය සැප ගෙන දෙන්නේ ය. සත්‍යය රසයන් අතුරෙන් උතුම් රසයෙකි. නුවණින් ජීවත් වන්නාහු ගේ ජීවිතය ශ්‍රේෂ්ඨ ය.
(70) මනුෂ්‍යාත්මය දුර්ලභ ය. මිනිසා ගේ ජීවිතය අමාරුවෙන් පැවැත්විය යුත්තෙකි. දහම් අසනු ලැබීමත් දුර්ලභ ය. බුදුවරයන් ගේ ඉපදීම ද දුර්ලභ ය.
71. සීලං යාව ජරා සාධු සද්ධා සාධු පතිට්ඨිතා,
පඤ්ඤා නරානං රතනං පුඤ්ඤං චොරෙහි දූහරං.
(දේවතා සංයුත්ත.)
72. අක්කොධෙන ජීනෙ කොධං අසාධුං සාධුනා ජීනෙ,
ජීනෙ කදරියං දානෙන සච්චෙනාලිකවාදිනං.
(ධ. කෝධ වග්ග.)
73. සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බ රසං ධම්මරසො ජිනාති,
සබ්බං රතිං ධම්මරතිං ජිනාති
තණ්හක්ඛයො සබ්බ දුක්ඛං ජිනාති
(ධ. තණ්හා වග්ග.)
(71) ශීලය ජරාව දක්වා ම හොඳ ය. මනා කොට පිහිටි ශ්‍රඬාව හොඳ ය. ප්‍රඥාව මිනිසුන්ට රත්නයෙකි. පින් සොරුන්ට නො ගත හැකි ය.
(72) ක්‍රෝධ නො කිරීමෙන් මෙත් කිරීමෙන් ක්‍රෝධ කරන්නා ගෙන් ජය ගත හැකි ය. හොඳ කිරීමෙන් නරක මිනිසා ගෙන් ජය ගත හැකි ය. දීමෙන් මසුරාගෙන් ජය ගත හැකි ය. සත්‍යයෙන් බොරුකාරයා ගෙන් ජය ගත හැකි ය.
(73) ධර්මදානය සියලු දානයන් දිනන්නේ ය. ධර්‍මරසය අන් සියලු රසයන් දිනන්නේ ය. ධර්‍මශ්‍රවණාදි වශයෙන් ඇතිවන ධර්මය පිළිබඳ වූ ප්‍රීතිය සියලු ප්‍රීතීන් දිනන්නේ ය. තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය සියලු දුක් දිනන්නේ ය.
74. න සො රාජා යො අජෙය්‍යං ජිනාති
න සො සඛා යො සඛාරං ජිනාති,
න සා භරියා යා පතිනො විහෙති
න තෙ පුත්තා යෙ න භරන්ති ජිණ්ණං.
75. න සා සභා යත්ථ න සන්ති සන්තො
න තෙ සන්තො යෙ න භනන්ති ධම්මං,
රාගඤ්ච දොසඤ්ච පහාය මොහං
ධම්මං භනන්තොව භවන්ති සන්තො
(80 නි මහා සුතසෝම ජා.)
76. නත්ථි රාග සමො අග්ගි නත්ථි දොස සමො ගහො,
නත්ථි මොහ සමං ජාලං නත්ථි තණ්හා සමා නදී
(ධ. මල වග්ග.)
(74) නො පැරදවිය යුතු වූ මාපියන් යමෙක් දිනා ද හේ රජ නො වේ. බොරු නඩු කීම් ආදියෙන් යහළුවන් පරදවන්නේ යහළුවෙක් නො වේ. හිමියාට බිය නො වන භාර්‍ය්‍යාව භාර්‍ය්‍යාවක් නො වේ. ජරපත් මා පියන් පෝෂණය නො කරන්නෝ දරුවෝ නො වෙති.
(75) පණ්ඩිතයන් නැති සභාව සභාවක් නො වේ. දහම් නො කියන්නෝ පණ්ඩිතයෝ නො වෙති. රාග ද්වේෂ මෝහයන් ප්‍රහාණය කොට ධර්මය කියන්නෝ ම පණ්ඩිතයෝ ය.
(76) රාගය හා සම වූ අන් ගින්නක් නැත. සතුන් අල්ලා ගන්නා වූ කිඹුල් පිඹුරු ආදීහු එකවරකට එකකු ම අල්ලති, ද්වේෂය එකවර බොහෝ සතුන් ද අල්ලන බැවින් ද්වේෂය හා සමාන සතුන් අල්ලන්නෙක් නැත, මෝහය හා සමාන දැලක් නැත, තෘෂ්ණාව හා සම ගඞ්ගාවක් නැත.
77. ලොභො දොසො ච මොහො ච පුරිසං පාප චෙතසං
හිංසන්ති අත්ත සම්භූතා තචසාරං ව සං ඵලං
(කෝසල සංයුත්ත.)
78. දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං,
දීඝො බාලානං සංසාරො සද්ධම්මං අවිජානතං.
(ධ. බාල වග්ග.)
79. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනෙ ධනං,
ජිණ්ණ කොඤ්චා ව ඣායන්ති ඛීණ මච්ඡෙව පල්ලලෙ
(ධ. ජරා වග්ග.)
80. යො ච උප්පතිතං අත්ථං ඛිප්පමෙව න බුජ්ඣති,
අමිත්ත වසමන්වෙති ස පච්ඡා අනුතප්පති.
(77) තමන් ගේ ඵලය ම හුණ බට ආදී ගස් නසන්නාක් මෙන් ලෝභ ද්වේෂ මෝහයෝ තමා කෙරෙහි ම ඉපිද පාපාද්‍ධ්‍යාශය ඇති පුද්ගලයා නසන්නාහ.
(78) නො නිදන්නා හට රාත්‍රිය දිග ය. වෙහෙසට පත් වූවහුට යොදුන දිග ය. ධර්‍මය නො දත් මෝඩයාට සසර දිග ය.
(79) මහණ දම් පිරීමට ඇති ශක්තිය ඇති තරුණ කාලයේ දී එය නො කළෝ ද, ධන සැපයීම කළ හැකි තරුණ කාලයේ දී එය නො කළාහු ද, දිය සිඳුනු විලේ මසුන් නැති මඩේ එරී තැවෙන මහලු කොස්වාලිහිණියන් සේ මහලු කල තැවෙන්නාහ.
(80) යමෙක් පැමිණි කරුණ ගැන පිළිපැදිය යුතු ආකාරය වහා තේරුම් නො ගනී ද හේ සතුරන් ගේ වශයට පැමිණෙන්නේ ය. ඔහුට පසුතැවෙන්නට ද සිදු වන්නේ ය.
81. යො ච උප්පතිතං අත්ථං ඛිප්පමෙව නිබොධති,
මුච්චතෙ සත්තු සම්බාධා න ච පච්ඡානුතප්පති.
(4 නි. වානර ජා.)
82. න තස්ස වුද්ධි කුසලප්පසත්ථා
යො වඩ්ඪමානො ඝසතෙ පතිට්ඨං,
තස්සූපරොධං පරිසඞ්කමානො
පතාරයි මූලවධාය ධීරො.
(5 නි. පලාස ජා.)
83. සඨස්ස සාඨෙය්‍යමිදං සුචින්තිතං
පච්චොඩ්ඩිතං පතිකූටස්ස කූටං,
ඵාලං චෙ අදෙය්‍යුං මූසිකා
කස්මා කුමාරෙ කුලලා නො හරෙය්‍යුං
84. කූටස්සහි සන්ති කූට කූටා
භවති චා පි නකතිනො නිකත්‍යා,
දෙහි පුත්තනට්ඨ නට්ඨඵාලස්ස ඵාලං
මා තෙ පුත්තෙ අහාසි නට්ඨඵාලො.
(2 නි. කූටවාණිජ ජා.)
(81) යමෙක් පැමිණි කරුණ ගැන පිළිපැදිය යුතු සැටි වහා තේරුම් ගනී ද හේ සතුරු පීඩනයෙන් මිදෙන්නේ ය. නො පසු තැවෙන්නේ ය.
(82) යමක් වැඩුණු කල්හි එයින් තමා ගේ පිහිට නැසේ නම්, ඒ දෙයට වැඩෙන්නට ඉඩ දීම පණ්ඩිතයන් විසින් නො පසස්නා ලදි. නුවණැත්තේ එයින් වන විනාශය ගැන සැක කොට එය මුලදී ම නැති කර දැමීමට උත්සාහ කරයි.
(83, 84) මෙය පරෙස්සමට තැබූ සීවැල් සඟවා ගත් කපටි වෙළෙඳකුට බෝසතාණන් වහන්සේ විසින් කියන ලද්දකි. කූට වාණිජ ජාතකය බලනු.
කපටියාට මේ කපටි කම කරන්නට සිතූ හැටි ඉතා හොඳ ය. ඇටවූ උගුල වෙනුවට මේ උගුල ඉතා හොඳ ය. යකඩයෙන්
85. චිරම්පි ඛො තං ඛාදෙය්‍ය ගද්‍රභො හරිතං යවං
පාරුතො සීහචම්මෙන රවමානොව දූසයි.
(2 නි. සීහචම්ම ජා.)
86. නෙව දුට්ඨෙ නයො අත්ථි න ධම්මො න සුභාසිතං
නික්ඛමං දුට්ඨෙ යුඤ්ජෙථ සො ච සබ්භි න රඤ්ජති.
(8 නි. දීපි ජා.)
87. නමෙ නමන්තස්ස භජෙ භජන්තං,
කිච්චානුකුබ්බස්ස කරෙය්‍ය කිච්චං
නා නත්ථ කාමස්ස කරෙය්‍ය අත්ථං
අසම්භජන්තම්පි න සම්භජෙය්‍ය.
කළ සීවැල් මීයෝ කත් නම් උකුසුවන් දරුවන් නො ගෙන යන්නේ මන්ද? කපටියන්ට තවත් කපටීහු ඇත. රවටන්නාට තවත් රවටන්නෝ ඇත. සීවැල් නැති වූවහුට ඒවා දෙව. නුඹේ දරුවන් සීවැල් නැති වූවහුට ගෙන යන්නට නො දෙව.
(85) සිංහ සම් පොරවා ගත් මේ කොටළුවාට කලක් නිල් යව කෑ හැකිව තිබුණේ ය. එහෙත් හැඬීමෙන් තමා ම තමා නසා ගත්තේ ය. එය සිංහ සමේ වරද නො වේ.
(86) දුෂ්ටයාට කාරණයක් නැත. ධර්‍මයක් නැත. යහපත් වචනයක් නැත. කාරණා ‘කාරණ කීමෙන් හෝ ධර්‍මය දැක්වීමෙන් හෝ හොඳින් කථා කිරීමෙන් හෝ ඔහු ගෙන් ගැලවිය නො හැකිය. යහපත ඔහුට රුචි නැත. ඔහු කෙරෙහි පරාක්‍රමය ම යෙදිය යුතුය.
(87) තමා කෙරෙහි නැමෙන්නාට නැමිය යුතුය. තමා භජනය කරන්නා භජනය කළ යුතු ය. තමාට වැඩ කරන්නා හට තමා ද වැඩ කළ යුතු ය. තමාගේ අනර්ථයට කැමති තැනැත්තා ට වැඩ නොකළ යුතු ය. තමා භජනය නොකරන්නා ද භජනය නො කළ යුතු ය.
88. චජෙ චජන්තං වනථං න කයිරා
අපෙත චිත්තෙන න සම්භජෙය්‍ය
ද්විජො දුමං ඛීණඵලන්ති ඤත්වා
අඤ්ඤං සමික්ඛෙය්‍ය මහා හි ලොකො.
(2 නි. පුටභත්ත ජා.)
89. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති,
නහි චින්තාමයා භොගා ඉත්ථියා පුරිසස්ස වා.
(මහා ජනක ජා.)
90. කින්නු ගිජ්ඣො යොජන සතං කූණපානි අවෙක්ඛති
කස්මා ජාලඤ්ච පාසඤ්ච ආසජ්ජා‘පි න බුජ්ඣසි.
(88) තමා හරනා තැනැත්තා තමා විසින් ද හළ යුතුය. ඔහු හා ස්නේහය පවත්වන්නට නො යා යුතු ය. පහ වූ සිත් ඇත්තා සමග භජනය නො පැවැත්විය යුතු ය. පක්‍ෂියා පල නැති ගස හැර යන්නාක් මෙන් ඔහු හැර යා යුතු ය. ලෝකය මහත් ය. එකකු නැති කල්හි අනෙකෙක් සොයා ගත යුතු ය.
(89) නො සිතූ දෙය ද සිදු වෙයි. සිතූ දෙය ද සිතූ සැටියට සිදු නො වේ. ස්ත්‍රියකට හෝ වේවා පුරුෂයකුට හෝ වේවා කාහට වුව ද වස්තුව සිතන සැටියට ලැබෙන්නේ නො වේ.
(90) උගුලට අසු වූ ගිජුලිහිණියාගෙන් බරණැස් රජු ඇසූ ප්‍රශ්නයකි මේ. ගිජුලිහිණියා සියක් යොදුන් දුර තිබෙන කුණුපය දකී. කුමක් හෙයින් ළඟට පැමිණත් දැල හා උගුල නුදුටුවෙහි ද?
91. යදා පරාභවො හොති පොසො ජීවිත සඞ්ඛයෙ,
අථ ජාලඤ්ච පාසඤ්ච ආසජ්ජා පි න බුජ්ඣති
(නි. ගිජ්ඣ ජා.)
92. අසාතං සාතරූපෙන පියරූපෙන අප්පියං,
දුක්ඛං සුඛස්ස රූපෙන පමත්තමති වත්තති.
(1 නි. අසාතරූප ජා.)
93. තදෙවෙකස්ස කල්‍යාණං තදෙවෙකස්ස පාපකං,
තස්මා සබ්බං න කල්‍යාණං සබ්බං චා පි න පාපකං.
(1 නි. අසිලක්ඛණ ජා.)
94. ජීවකඤ්ච මතං දිස්වා ධනපාලිඤ්ච දුග්ගතං,
පන්ථකඤ්ච වනෙ මූළ්හං පාපකො පුනරාගමි
(1 නි. නාමසිද්ධි ජා.)
(91) ගිජුලිහිණියාගේ පිළිතුර: ජීවිතාවසානයේ සත්ත්වයාගේ පිරිහීම යම් කලෙක එළඹ සිටී ද එකල්හි ළඟට පැමිණියේ ද දැල හා උගුල නො පෙනෙන්නේ ය.
(92) නො මනා දෙය මනා දෙයක ආකාරයෙන් ද අප්‍රිය දෙය ප්‍රිය දෙයක ආකාරයෙන් ද දුක සැපයේ ආකාරයෙන් ද ප්‍රමත්ත පුද්ගලයා යටකර පෙළන්නේ ය.
(93) එය ම කෙනකුට යහපතක් වේ. කෙනකුට නපුරු වේ. එබැවින් සියල්ල ම හොඳ ද නොවේ. නරක ද නො වේ.
(94) හොඳ නමක් සොයන්නට ගිය පාපකයා, ජීවකයා මැරී සිටිනු දැක ධනපාලි දිළිඳුව සිටිනු දැක පන්ථකයා මන්මුලා වී සිටිනු දැක හැරී ආයේ ය. (නාමසිද්ධි ජාතකය බලනු.)
95. නවෙන සුඛ දුක්ඛෙන පොරාණාති පිථියති,
තස්මා අස්සක රඤ්ඤා ව කීටො පියතරො මම.
(2 නි. අස්සක ජා.)
96. දිපාදකො යං අසුචි දුග්ගන්ධො පරිහීරති,
නා නා කුණප පරිපූරො විස්සවන්තො තතො තතො
97. එතාදිසෙන කායෙන යො මඤ්ඤෙ උන්නමෙතවෙ,
පරං වා අවජානෙය්‍ය කිමඤ්ඤත්‍ර අදස්සනා
(සු. නි. විජය සුත්ත.)
98. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ
භායන්ති මච්චුනො,
අත්තානං උපමං කත්වා න හනෙය්‍ය න ඝාතයෙ.
(95) මෙය අස්සක රජුගේ දේවිය ගොම කුරුමිණිව ඉපද ගොම කුරුමිණියකු සමග හැසිරෙන කල්හි කියන ලද්දෙකි. අලුත් සැපදුක් වලින් පරණ සුවදුක් වැසෙන්නේය. එබැවින් අස්සක රජුට වඩා ගොම කුරුමිණි සැමියා ම දැන් මට අතිශයින් ප්‍රිය ය, (අස්සක ජාතකය බලනු.)
(96) දෙපයක් ඇත්තා වූ මේ මිනිස් කය දුගඳ ය. දුගඳ නැති වීම පිණිස සුවඳ වර්ගවලින් යුක්ත කොට පරිහරණය කරනු ලැබේ. නානා කුණුපයන් ගෙන් පිරුණේ ය. ඒ ඒ තැනින් අපවිත්‍ර දෑ වගුරුවන්නේ ය.
(97) එබඳු කයක් ඇතිව යමෙක් උඩඟු වන්නට සිතා ද අනුන් හෝ පහත් කොට සිතා ද, එය මෝඩ කම හැර අන් කුමක් ද?
(98) සියලු සත්ත්වයෝ ම පීඩනයට බිය වෙති. සියලු සත්ත්වයෝ මරණයට බිය වෙති. තමා උපමා කොට අනුන්ට පීඩා නො කළ යුතු ය. නො මැරිය යුතු ය.
99. සුඛකාමානි භූතානි යො දණ්ඩෙන විහිංසති,
අත්තනො සුඛමෙසානො පෙච්ච සො න
ලභතෙ සුඛං
(ධ. දණ්ඩ වග්ග.)
100. මොඝො ජාතී ච වණ්ණො ච සීලමෙව කිරුත්තමං,
සිලෙන අනුපෙතස්ස සුතෙනත්ථො න විජ්ජති.
(5 නි. සීලවිමංසන ජා.)
පඨමං සතකං.
(99) තමන් ගේ සැපයට කැමති යමෙක් තමා මෙන් ම සැප කැමති සත්ත්වයන්ට හිංසා කෙරේ ද, හෙතෙමේ මතු අත් බැව්හි සැප නො ලබන්නේ ය.
(100) ජාතියත් ශරීර වර්‍ණයත් දෙක හිස් ය. ඒවායින් වැඩක් නැත. ශීලය ම උතුම් ය. සිල් නැත්තහු ගේ උගත් කමෙන් ද වැඩෙක් නැත.
බුද්ධනීති සංග්‍රහයේ
ප්‍රථම ශතකය,
නිමි.
1. එවං මිත්තවතං අත්ථා සබ්බේ හොන්ති පදක්ඛිණා,
හංසා යථා ධතරට්ඨා ඤාති සඞ්ඝ මුපාගමුං.
(80 නි. චූලහංස ජා.)
2. කරෙ සරික්ඛො අථවා පි සෙට්ඨො
නිහීනකො චා පි කරෙය්‍ය මිත්තො,
කරෙය්‍යුං තෙ ව්‍යසනෙ උත්තමත්ථං
යථා අහං කුසනාළි රුචායං.
(1 නි. කුසනාළි ජා.)
3. අපි චෙ දුබ්බලො මිත්තො මිත්තධම්මෙසු තිට්ඨති,
යො ඤාතකො ච බන්ධූ ච සො මිත්තො සො ච
මෙ සඛා
දාඨිනී, මාතිමඤ්ඤිත්ථො සිගාලො මම පාණදො.
(2 නි. ගුණ ජා.)
(1) යම් සේ ධතරට්ඨ සුමුඛ යන හංසයෝ වැද්දාගෙන් මිදී සිය නෑයන් වෙත ගියාහු ද, එ මෙන් යහපත් මිතුරන් ඇතියවුන්ට සකලාර්ථයෝ සිදු වෙති.
(2) මෙය වැළුප් පඳුරේ වෙසෙන දුබල දෙවියා ගේ උපකාරයෙන් සිය විමන රැක ගත් බලවත් දෙවියකු වූ බුරුද ගස විසූ දෙවියකු ගේ ප්‍රකාශයකි. යම් සේ බුරුද ගස වෙසෙන බලවත් වූ මම වැළුප් පඳුරේ වෙසෙන දුබල දෙවියා හා මිතුරුකම් කෙළෙම් ද, එමෙන් සම වූවන් සමග ද මිතුරුකම් පවත්වන්නේ ය. ශ්‍රේෂ්ඨයන් සමග ද මිතුරුකම් පවත්වන්නේ ය. දුබලයන් සමග ද මිතුරුකම් පවත්වන්නේ ය. ඔවුහු ව්‍යසනයෙහි දී වටිනා වැඩ කරන්නාහ.
(3) මෙය සිංහයකු විසින් මඩේ එරී සිටියදී එයින් ගැලවීමට තමාට උපකාර කළ හිවලකු ගැන සිංහ දෙනට කියන ලද්දකි.
4. මිත්තො හවෙ සත්තපදෙන හොති
සහායො පන ද්වාදසකෙන හොති,
මාසද්ධමාසෙන ච ඤාති හොති
තතුත්තරිං අත්තසමො පි හොති.
(1 නි, කාලකණ්ණි ජා.)
5. න නං උම්භයතෙ දිස්වා න ච නං පටිනන්දති,
චක්ඛූනිචස්ස නදදාති පටිලොමඤ්ච වත්තති.
6. අමිත්තෙ තස්ස භජති මිත්තෙ තස්ස න සෙවති,
වණ්ණකාමෙ නිවාරෙති අක්කොසන්තෙ පසංසති.
ඉදින් දුර්වල වූ ද මිතුරෙක් මිත්‍ර ධර්‍මයෙහි මනාකොට පිහිටා සිටී නම් හෙතෙමේ නෑයෙක් ද වෙයි. බන්ධුවරයෙක් ද වෙයි. මිත්‍රයෙක් ද වෙයි. එක්ව හැසිරෙන යහළුවෙක් ද වෙයි. දළ ඇත්තිය, ඒ සිවලා පහත් කොට නො සිතව, ඌ මාගේ ප්‍රාණය දුන්නේ ය.
(4) සත් පියවරක් එක්ව ගමන් කිරීමෙන් මිත්‍රයෙක් වේ. දොළොස් දිනක් එක්ව විසීමෙන් සහායකයෙක් හෙවත් එක්ව හැසිරෙන යහළුවෙක් වේ. මසක් හෝ අඩ මසක් එක්ව විසීමෙන් නෑයෙක් වෙයි. එයට වැඩි කලක් එක්ව විසීමෙන් තමා හා සම වූවෙක් වේ.
(5) මිත්‍ර ප්‍රතිරූපකයා හෙවත් අමිතුරා අනෙකා දැක සතුටු බවක් නො දක්වයි. අනෙකාගේ කථාවට අනුබල දීම් වශයෙන් කථා නො කරයි. අනෙකා තමා දෙස බලන කල්හි නො බලයි. අනෙකා ගේ කථාවට විරුඬ වෙයි.
(6) අනෙකා ගේ සතුරන් ආශ්‍රය කරයි. අනෙකා ගේ මිත්‍රයන් භජනය නො කරයි. අනෙකා ගේ ගුණ කියනු කැමතියන් වළක්වයි. අනෙකාට බණින අය පසසයි.
7. ගුය්හඤ්ච තස්ස නක්ඛාති තස්ස ගුය්හං න ගූහති,
කම්මං තස්ස න වණ්ණෙති පඤ්ඤස්ස නප්පසංසති
8. අභවෙ නන්දති තස්ස භවෙ තස්ස න නන්දති,
අච්ඡරියං භොජනං ලද්ධා තස්ස නූප්පජ්ජතෙ සති.
9. තතො නං නානුකම්පති අහො සොපි ලභෙය්‍යතො
ඉච්චෙ තෙ සොළසාකාරා අමිත්තස්මිං පතිට්ඨිතා.
යෙහි අමිත්තං ජානෙය්‍ය දිස්වා සුත්වා ච පණ්ඩිතො.
10. පවුත්ථං චස්ස සරති, ආගතං අභිනන්දති,
තතො කෙලායිතො හොති වාචාය පටිනන්දති.
(7) තමා ගේ රහස් අනෙකාට නො කියයි. අනෙකාගේ රහස් නො සඟවයි. අනෙකා ගේ වැඩ වල ගුණ නො කියයි. අනෙකා ගේ නුවණ වර්‍ණනා නො කරයි.
(8) අනෙකා ගේ පිරිහීමට කැමති වෙයි. දියුණුවට නො කැමති වෙයි. අමුතු හොඳ බොජුනක් ලත් කල්හි අනෙකා සිහි නො කරයි.
(9) අහෝ මාගේ මිත්‍රයාටත් මෙයින් ලදහොත් හොඳ ය යි අනුකම්පාවෙන් නො සිතයි. මේ කරුණු සොළොස අමිත්‍රයා කෙරෙහි පිහිටියේ ය. නුවණැත්තේ ඒවා අසා දැක ද අමිත්‍රයා හැඳින ගන්නේ ය.
(10) වෙන් ව වෙසෙන්නා වූ අනෙකා සිහි කරයි. ආ කල්හි සතුටු වෙයි. ඉක්බිති ඔහුට ආදරය දක්වයි. ප්‍රිය වචනයෙන් පිළිසඳර කථා කරයි.
11. මිත්තෙ තස්සෙ ව භජති අමිත්තෙ තස්ස න සෙවති,
අක්කොසන්තෙ නිවාරෙති, වණ්ණකාමෙ පසංසතී.
12. ගුය්හඤ්ච තස්ස අක්ඛාති, තස්ස ගුය්හඤ්ච ගූහති,
කම්මඤ්ච තස්ස වණ්ණෙති පඤ්ඤං තස්ස පසංසති.
13. භවෙ ච නන්දති තස්ස, අභවෙ තස්ස න නන්දති,
අච්ඡරියං භොජනං ලද්ධා, තස්ස උප්පජ්ජතෙ සති
තතො නං අනුකම්පති අහො සො පි ලභෙය්‍යතො
14. ඉච්චෙ තෙ සොළසාකාරා මිත්තස්මිං සුප්පතිට්ඨිතා,
යෙහි මිත්තඤ්ච ජානෙය්‍ය දිස්වා සුත්වා ච පණ්ඩිතො
(12 නි. මිත්තාමිත්ත ජා.)
(11) අනෙකාගේ මිතුරන් ම භජනය කරයි. සතුරන් භජනය නො කරයි. ආක්‍රෝෂ කරන්නවුන් වළක්වයි. ගුණ කියනුවන්ට පසසයි.
(12) තමාගේ රහස් අනෙකාට කියයි. අනෙකාගේ රහස් ද සඟවයි. අනෙකාගේ වැඩ වල ගුණ කියයි. අනෙකා ගේ නුවණ පසසයි.
(13) අනෙකා ගේ දියුණුවට සතුටු වෙයි. පිරිහීමට නො කැමති වෙයි. ආශ්චර්‍ය්‍යවත් භෝජනයක් ලද කල්හි සිහි කරයි. අහෝ මාගේ යහළුවාටත් මෙයින් ලද හොත් හොඳ යයි අනුකම්පා සහගතව සිතයි.
(14) මේ කරුණු සොළොස මිත්‍රයා කෙරෙහි මනා කොට පිහිටියේ ය. ඒවා දැක ද අසා ද නුවණැත්තේ ඒ කරුණු වලින් සැබෑ මිතුරා හැඳින ගන්නේ ය.
15. අඤ්ඤදත්ථුහරො මිත්තො යො ච මිත්තො වචීපරො
අනුප්පියඤ්ච යො ආහ අපායෙසු ච යො සඛා.
16. එතෙ අමිත්තෙ චත්තාරො ඉති විඤ්ඤාය පණ්ඩිතො
ආරකා පරිවජ්ජෙය්‍ය මග්ගං පටිභයං යථා.
17. උපකාරො ච යො මිත්තො යො ච මිත්තො සුඛෙ දුඛෙ,
අත්ථක්ඛායී ච යො මිත්තො යො ච මිත්තානුකම්පකො.
18. එතෙ ඛො මිත්තෙ චත්තාරො ඉති විඤ්ඤාය පණ්ඩිතො,
සක්කච්චං පයිරුපාසෙය්‍ය මාතා පුත්තං ව ඔරසං
(දීඝ නි. සිගාල සුත්ත)
(15-16) ගැනීමට ම මිතුරු වන අඤ්ඤදත්ථුහර නම් මිත්‍රයා ය, වචනයෙන් පමණක් සංග්‍රහ කරන වචීපරම නම් මිත්‍රයා ය, අනෙකා සතුටු වන ලෙස හොඳ නරක දෙකම වර්‍ණනා කරන අනුප්පියභාණී නම් මිත්‍රයා ය, නො මනා දෑ කිරීමට පමණක් එක් වන අපායසහාය නම් මිත්‍රයා ය යන මේ මිත්‍ර ප්‍රතිරූපක අමිත්‍රයන් සතර දෙන හැඳින ගෙන නුවණැත්තේ නපුරු මගකින් මෙන් ඔවුන්ගෙන් වෙන් වන්නේ ය.
(17-18) යම් මිත්‍රයෙක් උපකාර කෙරේ ද, යම් මිත්‍රයෙක් සැප දුක් දෙක්හි සමව සිටී ද, යම් මිත්‍රයෙක් දියුණුවේ මග කියා ද, යම් මිත්‍රයෙක් අනුකම්පා කෙරේ ද, නුවණැත්තේ ඒ මිත්‍රයන් සතර දෙන මෙ සේ හැඳින මවක් සිය කුසෙහි උපන් දරුවකු භජනය කරන්නාක් මෙන් මනා කොට සේවනය කරන්නේ ය.
19. දුද්දදං දදතී විත්තං දුක්කරං වා පි කුබ්බති,
අථො පිස්ස දුරුත්තානි ඛමති දුක්ඛයානි පි.
20. ගුය්හඤ්ච තස්ස අක්ඛාති, ගුය්හස්ස පරිගූහතී,
ආපදාසු න ජහති. ඛීණෙන නාති මඤ්ඤතී.
21. යස්මිං එතානි ඨානානි සංවිජ්ජන්තී ධ පුග්ගලෙ,
සො මිත්තො මිත්තකාමෙහි භජිතබ්බො තථා විධො
(අංගුත්තර සත්තක නි.)
22. පියො ච ගරු භාවනීයො වත්තා ච වචනක්ඛමො,
ගම්භීරඤ්ච කථං කත්තා නො චට්ඨානෙ නියොජයෙ
23. යස්මිං එතානි ඨානානි සංවිජ්ජන්තී ධ පුග්ගලෙ,
සො මිත්තො මිත්තකාමෙන අත්ථ කාමානුකම්පකො
අපි නාසිය මානෙන භජිතබ්බො තථා විධො
(අංගුත්තර සත්තක නි.)
(19-20-21) යමෙක් මිතුරා හට දීමට දුෂ්කර වූ වටනා දෙය දේ ද, මිත්‍රයා වෙනුවෙන් දුෂ්කර දෑ කෙරේද, වැරදීම් කිපීම් නිසා මිත්‍රයා විසින් කියවුණු ඉවසීමට දුෂ්කර වචන වුව ද ඉවසා ද, තමාගේ රහස් මිත්‍රයාට කියා ද, මිත්‍රයා ගේ රහස් තමා ගේ රහස් මෙන්ම සඟවා ද, විපත් වලදී නො හරී ද, ධනය ක්‍ෂයවීම කරණ කොට පහත් කොට නො සිතා ද, යම් පුද්ගලයකු කෙරෙහි මේ කරුණු සත ඇත්තේ ද එබඳු වූ ඒ මිත්‍රයා මිත්‍රයන් සොයන්නවුන් විසින් සේවනය කළ යුතු ය.
(22-23) යම් මිත්‍රයෙක් ප්‍රිය වේද, ගරු කළ යුතු වේද, ප්‍රශංසා කළ යුතු වේද, කළ යුත්ත නො කළ යුත්ත කියාදීමෙහි සමත් වේ ද, වචනය ඉවසන්නේ හෙවත් අවවාද පිළිගන්නේ වේ ද, ගැඹුරු කථා කියන්නේ වේ ද, ආශ්‍රය කරන්නා නො මනා ක්‍රියාවෙහි නො යොදවන්නේ වේ ද, මේ කරුණු සත යම් පුද්ගලයකු කෙරෙහි ඇත්තේ ද, අර්ථය කැමැත්තා වූ අනුකම්පා කරන්නා වූ ඒ මිත්‍රයා මිත්‍රයන් කැමති වන්නහු විසින් නෙරපනු ලබන කල්හි ද නො හැර භජනය කළ යුතු ය.
24. සත්ථො පවසතො මිත්තං මාතා මිත්තං සඛෙ ඝරෙ,
සහායො අත්ථ ජාතස්ස හොති මිත්තං පුනප්පුනං
සයං කතානි පුඤ්ඤානි තං මිත්තං සම්පරායිකං.
(දේවතා සංයුත්ත)
25. යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍ය වා,
න තස්ස සාඛං භඤ්ජෙය්‍ය මිත්ත දුබ්භොහි පාපකො.
(පකිණ්ණක නි. සාධීන ජා.)
26. කුට්ඨි කිලාසි භවති යො මිත්තානං ඉධද්දුභි,
කායස්ස භෙදා මිත්තද්දු නිරයං සො උපපජ්ජති.
(30 නි. මහා කපි ජා.)
27. පහූත භක්ඛො භවති විප්පවුත්ථො සකා ඝරා,
බහූනං උපජීවන්ති යො මිත්තානං න දූභති.
(24) ස්වකීයයන් ගෙන් වෙන් ව හැසිරෙන්නහුට එක් ව හැසිරෙන වෙළඳ සමූහය මිත්‍ර ය. සිය නිවසේ දී මව මිතුරිය ය. කළ යුතු දෙයක් එළඹ සිටි කල්හි යහළුවා නැවත නැවතත් මිත්‍ර ය. තමා විසින් කළ යම් පිනක් වේ නම් එය පරලෙව්හි දී මිත්‍ර ය.
(25) යම් ගසෙක සෙවනේ හිඳ ගත්තේ හෝ හොත්තෝ හෝ වේ නම් එ ගස අතු නො බිඳින්නේ ය. මිත්‍ර ද්‍රෝහියා පව්කාරයෙකි.
(26) යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහි වේ ද, හෙතෙමේ මෙලොව දී ම, කුෂ්ඨ රෝග ඇත්තෙක් ද වන්නේ ය. සුදු කබර රෝගය ඇත්තෙක් ද වන්නේ ය. මරණින් මතු ඒ මිත්‍ර ද්‍රෝහියා නරකයෙහි උපදන්නේ ය.
(27) යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහි නො වේ ද, හෙතෙමේ සිය නිවසින් බැහැර විසුයේ ද බොහෝ ආහාර ලබයි. ඔහු නිසා බොහෝ දෙන ද ජීවත් වෙති.
28. යං යං ජනපදං යාති නිගමෙ රාජධානියො,
සබ්බත්ථ පූජිතො හොති යො මිත්තානං න දූභති.
29. නාස්ස චොරා පසහන්ති නාතිමඤ්ඤෙති ඛත්තියො,
සබ්බේ අමිත්තෙ තරති යො මිත්තානං න දූභති.
30. අක්කුද්ධො සඝරං එති සභාය පටිනන්දිතො,
ඤාතිනං උත්තමො හොති යො මිත්තානං න දූභති.
31. සක්කත්වා සක්කතො හොති ගරු හොති සගාරවො,
වණ්ණකිත්ති භතො හොති යො මිත්තානං න දූභති.
32. පූජකො ලභතෙ පූජං වන්දකො පටි වන්දනං,
යසො කිත්තිඤ්ච පප්පොති යො මිත්තානං න දූභති.
(28) යමෙක් මිත්‍ර ද්‍රෝහි නො වේ ද, හේ යම් යම් ජනපදයකට නියම්ගමකට රාජධානියකට යේ ද සෑම තැනදී ම පුදනු ලබන්නේ වේ.
(29) යමෙක් මිතුරන්ට ද්‍රෝහි නො වේ ද, ඔහුට සතුරු පීඩා නො කරන්නාහ. රජ ද ඔහු පහත් කොට නො සලකන්නේ ය. හේ සියලු සතුරන් ඉක්මවන්නේ ය.
(30) යමෙක් මිත්‍ර ද්‍රෝහි නො වේ ද, සිය නිවෙසින් බැහැර ගියා වූ හෙතෙමේ සභාවෙහි ගුණ කථා අසා සතුටු වූයේ කෝපයක් නැති ව සිය නිවසට එන්නේ ය. හෙතෙමේ නෑයන්ට උත්තම ද වන්නේ ය.
(31) යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහි නො වේ ද, හෙතෙමේ අනුන්ට සත්කාර කොට තෙමේ ද සත්කාර ලබන්නේ ය. අනුන් කෙරෙහි ගෞරව ඇත්තේ තෙමේ ද අනුන්ගේ ගෞරවයට හිමි වේ. ඉදිරියෙහි කරන ගුණ වර්‍ණනාව හා දුර පැතිරෙන ගුණ වර්‍ණනාව ඇතිව හැසිරෙන්නේ වේ.
(32) යමෙක් මිත්‍ර ද්‍රෝහි නො වේ ද, හෙතෙමේ අනුන්ට පූජා කරන්නේ තෙමේ ද පූජා ලබයි. අනුන්ට වඳින්නේ තෙමේ ද වැඳුම් ලබයි. යසසට ද කීර්තියට ද පැමිණේ.
33. අග්ගි යථා පජ්ජලති, දෙවතා ව විරොචති,
සිරියා අජහිතො හොති යො මිත්තානං න දූභති.
34. ගාවො තස්ස පජායන්ති ඛෙත්තෙ වුත්තං විරූහති,
වුත්තානං ඵල මස්නාතී, යො මිත්තානං නං දූභති.
35. දරිතො පබ්බතාතො වා රුක්ඛාතො පතිතො නරො
චුතො පතිට්ඨං ලභති, යො මිත්තානං න දූභති.
36. විරූළ්හ මූල සන්තානං නිග්‍රොධ මිව මාලුතො,
අමිත්තා නප්පසහන්ති යො මිත්තානං න දූභති.
(මහා නි. මූගපක්ඛ ජා.)
37. අදෙය්‍යෙසු දදං දානං දෙය්‍යෙසු නප්පවෙච්ඡති,
ආපාසු ව්‍යසනං පත්තො සහායං නාධිගච්ඡති.
(33) යමෙක් මිත්‍රද්‍රෝහි නො වේ ද, හෙතෙමේ ලෝකයෙහි ගින්නක් මෙන් දිලිසෙයි. දෙවියකු මෙන් බබලයි. ශ්‍රියා ඇත්තෙක් වේ.
(34) යමෙක් මිත්‍ර ද්‍රෝහි නො වේ ද, ඔහුට ගවයෝ බෝ වෙති. කෙතෙහි වපුළ දෙය මැනවින් වැඩේ. වපුළ දේවල ඵල අනුභව කරන්නට ලැබේ.
(35) යමෙක් මිත්‍ර ද්‍රෝහි නො වේද, ඒ මිනිස් තෙමේ පෘථිවි පර්‍වත විවරයකට වැටුණේ හෝ පර්‍වතයකින් වැටුණේ හෝ ගසකින් වැටුණේ හෝ පිහිට ලබයි.
(36) යමෙක් මිත්‍ර ද්‍රෝහි නො වේ ද, වැඩුණු මුල් ඇති නුගගසකට සුළඟ පීඩා නො කරන්නාක් මේන ඒ සත්පුරුෂයාට අමිත්‍රයෝ පීඩා නො කෙරෙති.
(37) යමෙක් තමාට පෙර උපකාර කළවුන්ට උපකාර නො කරමින් උපකාර නො කළවුන්ට උපකාර කෙරේ ද හෙතෙම් විපතේ දී දුකට පැමිණියේ යහළුවකු නො ලබයි.
38. නා දෙය්‍යෙසු දදං දානං දෙය්‍යෙසු යො පවෙච්ඡති,
ආපාසු ව්‍යසනං පත්තො සහාය මධිගච්ඡති
(4 නි. මහා අස්සාරෝහ ජා.)
39. අච්චාභික්ඛණ සංසග්ගා අසමොසරණෙන ච,
එතෙන මිත්තා ජිරන්ති අකාලෙ යාචනාය ච.
40. තස්මා නා භික්ඛණං ගච්ඡෙ න ච ගච්ඡෙ චිරා චිරං,
කාලෙන යාචං යාචෙය්‍ය එවං මිත්තා න ජීයරෙ
අති චිරං නිවාසෙන පියො භවති අප්පියො.
(50 මහාබෝධි ජා.)
41. යො පරෙසං වචනානි සද්දහෙථ යථාතථං
ඛිප්පං භිජ්ජෙථ මිත්තස්මිං වෙරඤ්ච පසවෙ බහුං.
(38) යමෙක් පෙර තමාට උපකාර නො කළවුන්ට උපකාර නො කරන්නේ උපකාර කළවුන්ට උපකාර කෙරේ ද, හෙතෙමේ විපතේ දී දුකට පැමිණියේ යහළුවන් ලබයි.
(39) පමණ ඉක්මවා නිතර ම ආශ්‍රය කිරීමෙන් ද, ආශ්‍රයට නො යාමෙන් ද, නො කල්හි ඉල්ලීමෙන් ද යන මේ කරුණු වලින් මිත්‍රභාවය දිර යි.
(40) එ බැවින් නිතරම ආශ්‍රයට නො යන්නේ ය. බොහෝ කල් ආශ්‍රය හැර සිට ද නො යන්නේ ය. ඉල්ලීමක් කරත හොත් සුදුසු වේලාවක දී ම කරන්නේ ය. මෙසේ පැවතීමෙන් මිත්‍ර බව නො දිරන්නේ ය.
දීර්ඝ කාලයක් එක්ව විසීමෙන් ද ප්‍රියයා අප්‍රිය වන්නේ ය.
(41) යමෙක් අනුන් ගේ කීම් එසේමය යි විශ්වාස කෙරේ ද, හේ මිත්‍රයන්ගෙන් වහා බිඳෙන්නේ ය. ඔහුට වෛර ද බොහෝ වන්නේ ය.
42. න සො මිත්තො යො සදා අප්පමත්තො
භෙදානුසඞ්කී රන්ධ මෙවා නුපස්සී,
යස්මිඤ්ච සෙති උරසී ව පුත්තො
ස වෙ මිත්තො සො අභෙජ්ජො පරෙහි.
(5 නි. වණ්ණාරෝහ ජා.)
43. සචෙ පි සන්තො විවදන්ති, ඛිප්පං සන්ධීයරෙ පුන,
බාලා පත්තාව භිජ්ජන්ති න තෙ සමථ මජ්ඣගු.
44. එතෙ භීයො සමායන්ති සන්ධී තෙසං න ජීරති,
යො චාධිපන්නං ජානාති යො ච ජානාති දෙසනං.
(42) යමෙක් නිරන්තරයෙන් ම අනෙකා ගැන සැකයෙන් සිදුරු ම සොයා ද, හෙතෙමේ මිත්‍රයෙක් නො වේ. මවගේ ළයෙහි දරුවකු නිදන්නාක් මෙන් යමකු ගේ ළයෙහි සැක නැතිව සයනය කෙරේ ද, අනුන් විසින් නො බිඳවිය හැක්කා වූ හෙතෙමේ ම ඒකාන්ත මිතුරා ය.
(43) ඉදින් සත්පුරුෂයෝ ඔවුනොවුන් විරුඬ වූවාහු ද වහා සමගියට පැමිණෙති. අඥයෝ මැටිබඳුන් බිඳෙන්නාක් මෙන් ඔවුනොවුන් බිඳෙති. ඔවුහු නැවත සමගියට නො පැමිණෙති.
(44) යමෙක් තමා අතින් වූ වරද වරදක් බව දනී ද, යමෙක් වරද කළහු විසින් කරන සමාව ඉල්ලීම පිළිගන්නට දනී ද, ඔවුහු බිඳුනාහු ද නැවත සමගියට පැමිණෙති. ඔවුන්ගේ මිත්‍ර සන්ධිය නො දිරයි.
45. එසො හි උත්තරීතරො භාරවාහො ධුරන්ධරො,
යො පරෙසාධිපන්නානං සයං සන්ධාතු මරහති.
(4 නි. කස්සපමන්දිය ජා.)
46. අසම්පදානෙනිතරීතරස්ස
බාලස්ස මිත්තානි කලී භවන්ති.
තස්මා හරාමි භුසං අඩ්ඪමානං
මා මෙ මිත්ති ජීයිත්ථ සස්සතාය.
(1 නි අසම්පදාන ජා.)
47. න භජෙ පාපකෙ මිත්තෙ න භජෙ පුරිසාධමෙ
භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ.
(ධ. පණ්ඩිත වග්ග)
48. වීතසද්ධං න සෙවෙය්‍ය උදපානං ව නොදකං,
සචෙ පි නං අනුඛණෙ වාරි කද්දම ගන්ධිකං.
(45) යමෙක් අනුන් කළ අපරාධ ඉවසීමට සමත් වේ ද, හෙ තෙමේ මිත්‍රත්වය නමැති බර උසුලන්නුවන් අතර, ගෙන යන්නවුන් අතර උසස් ම තැනැත්තා වන්නේ ය.
(46) මිත්‍රයකු විසින් දෙන මඳ වූ හෝ බොහෝ වූ හෝ දෙය නො ගැනීමෙන් බාලයා ගේ මිත්‍රයෝ බිඳෙති. එ බැවින් මොහු ගේ හා මාගේ මිත්‍රත්වය නො බිඳේවා. ස්ථිර වේවා යි බොල් තිඹ ගනිමි. (මෙය අසම්පදාන ජාතකය බලා තේරුම් ගත යුතු ය.)
(47) පාපමිත්‍රයන් සේවනය නො කරන්නේ ය. හීන පුරුෂයන් සේවනය නො කරන්නේ ය. කල්‍යාණ මිත්‍රයන් සේවනය කරව්. උත්තම පුරුෂයන් සේවනය කරව්.
(48) වතුර නැති ලිඳක් මෙන් විශ්වාසය නැතියහු සේවනය නො කරන්නේ ය. ජලය සිඳුණු ලිඳ නැවත කැණුයේ ද මඩ ගඳ නිසා එහි ජලය ප්‍රයෝජනයට නො ගත හැකිය.
49. පසන්න මෙව සෙවෙය්‍ය අප්පසන්නං විවජ්ජයෙ,
පසන්නං පයිරුපාසෙය්‍ය රහදං වොදකත්ථිකො.
50. භජෙ භජන්තං පුරිසං අභජන්තං න භජ්ජයෙ,
අසප්පුරිස ධම්මො සො යො භජන්තා න භජ්ජති.
51. යො භජන්තං න භජති සෙවමානං න සෙවති,
ස වෙ මනුස්ස පාපිට්ඨො මිගො සාඛස්සිතො යථා.
(50 නි. මහාබෝධි ජා.)
52. සුවිජානං සීගාලානං සකුන්තානඤ්ච වස්සිතං,
මනුස්ස වස්තිතං රාජ දුබ්බිජානතරං තතො.
53. අපි චෙ මඤ්ඤති පොසො ඤාති මිත්තො සඛාති වා,
සො පුබ්බෙ සුමනො හුත්වා පච්ඡාසම්පජ්ජතෙ දිසො.
(49) පහන් තැනැත්තා ම සේවනය කළ යුතු ය. නො පහන් තැනැත්තේ හළ යුතු ය. ජලය කැමති තැනැත්තා මහ විලක් ම සේවනය කරන්නාක් මෙන් පහන් තැනැත්තා ම සේවනය කළ යුතු ය.
(50) තමා ම භජනය කරන තැනැත්තේ භජනය කළ යුතු ය. භජනය නො කරන්නා හළ යුතු ය. යමෙක් තමා හා භජනය කරන්නා භජනය නො කෙරේ නම් එය අසත්පුරුෂ කමෙකි.
(51) යමෙක් තමා භජනය කරන්නහු භජනය නො කෙරේ ද, සේවනය කරන්නහු සේවනය නො කෙරේ ද, හෙතෙම් වඳුරකු වැනි මිනිස් පවිටෙකි.
(52) සිවලුන් ගේ හඬ පහසුවෙන් තේරුම් ගත හැකි ය. පක්ෂීන් ගේ හඬ ද පහසුවෙන් තේරුම් ගත හැකි ය. මිනිසුන්ගේ හඬ තේරුම් ගැනීම ඒවාට වඩා ඉතා දුෂ්කරය.
(53) මිනිසා අනෙකකු නෑයෙක මිතුරෙකැ යි සිතුයේ ද හේ පළමු හොඳ හිත් ඇත්තේ වී පසුව සතුරු වේ.
54. යස්මිං මනො නිවිසති, අවිදූරෙ සහා පි සො,
සන්තිකෙ පි හි සො දූරෙ යස්මා විවසතෙ මනො.
55. අන්තො පි සො හොති පසන්න චිත්තො,
පාරං සමුද්දස්ස පසන්න චිත්තො,
අන්තො පි සො හොති පදුට්ඨ චිත්තො
පාරං සමුද්දස්ස පදුට්ඨ චිත්තො.
(13 නි. ජවනහංස ජා.)
56. නෙ ව ඉත්ථිසු සාමඤ්ඤං නා පි භක්ඛෙසු සාරථි
අථස්ස සන්ධි භෙදස්ස පස්ස යාව සුචින්තිතං
57. අසි තික්ඛො ව මංසම්භි පෙසුඤ්ඤං පරිවත්තතී.
යත්ථූසභඤ්ච සීහඤ්ච භක්ඛයන්ති මිගාධමා.
(54) ඇලුම් කිරීම් වශයෙන් යමකු කෙරෙහි තමා ගේ සිත පවතී නම් හේ දුර විසුයේ ද ළඟ ම ය. සමග ම ය. යමකු කෙරෙහි සිත නො පවතී නම් හෙතෙමේ ළඟ විසුයේ ද දුර ම ය.
(55) හොඳ හිත ඇත්තේ මුහුදෙන් එතෙර විසුයේ ද තමා ගේ ගෙයි ම ය. තමා ගැන නපුරු සිත් ඇත්තේ තමා වෙසෙන ගෙයි විසුයේ ද මුහුදින් එතර ය.
මෙය කේලාම් පිළිගෙන ඔවුනොවුන් මරා ගත් ගවයකු හා සිංහයකු ගැන කියන ලද ගාථා පඞ්ක්තියකි. සන්ධිභේද ජාතකය බලනු.
(56) රියැදුර, මේ දෙදෙනා ගේ ස්ත්‍රීන් පිළිබඳ සම බවකුත් නැත. ආහාරය පිළිබඳ සම බවකුත් නැත. එ බැවින් කලහයට කරුණක් නැත. එහෙත් කොටවන්නා ගේ අදහස සිදු වූ සැටි බලව.
(57) තියුණු වූ කඩුව මස කපා ගෙන මස් අතර ඒ මේ අතර යන්නාක් මෙන් මිත්‍ර සන්ධිය අතර එය කපා ගෙන කේලම ඒ මේ අත යන්නේ ය. ඒ කේලම නිසා සිංහයාගේ හා මුවාගේ මස් සිවල්ලු කන්නාහ.
58. ඉමං සො සයනං සෙති, සයි මං පස්සසි සාරථි
යො වාචං සන්ධි භෙදස්ස පිසුණස්ස නිබොධති.
59. තෙ ජනා සුඛ මෙධන්ති නරා සග්ග ගතාරිව,
යෙ වාචං සන්ධි භෙදස්ස නාවබොධෙන්ති සාරථි
(4 නි. සන්ධිභේද ජා.)
60. දුමො යදා හොති එලූපපන්නො
භුඤ්ජන්ති නං විහගා සම්පතත්තා,
ඛීණන්ති ඤත්වාන දුමං ඵලච්චයෙ
දිසො දිසා යන්ති තතො විහඞ්ගමා
61. චරං චාරිකං ලොහිත තුණ්ඩ මාමරි
කිං ත්වං සුව සුක්ඛ දුමම්හි ඣායසි,
තදිඞ්ඝ මං බ්‍රෑහි වසන්ත සන්නිභ
තස්මා සුව සුක්ඛ දුමං න රිඤ්චසි.
(58) රථාචාර්‍ය්‍ය, මේ සිංහයා ගේ හා ගවයා ගේ යම් මළ නින්දක් දක්නෙහි ද, යමෙක් කේලාම් කියා කොටවන්නා ගේ බස පිළිගනී ද හේ මේ නින්දෙන් නිදන්නේ ය.
(59) රියදුර, යම් කෙනෙක් සන්ධිභේදකයා ගේ (කොටවන්නාගේ) බස නො පිළිගනිත් ද, ඒ ජනයෝ ස්වර්ගයට ගියවුන් මෙන් සැපයට පැමිණෙති.
තමන් ගෙඩි කා ජීවත් වූ ගස මළ කල් හි ද ඒ ගස නො හැර එහි ම වෙසෙන මහ බෝසත් ගිරවාණන් ගෙන් හංසයෙක් මෙසේ විචාරයි.
(60) යම් කලෙක ගස ගෙඩිවලින් යුක්ත වේ ද එ කල්හි පක්ෂීහු පැමිණ ගෙඩි කති. ගසේ ගෙඩි අවසන් වූ කල්හි පක්ෂීහු ඒ බව දැන දිශාවෙන් දිශාවට යන්නාහු ය.
(61) ගිරවාණෙනි, චාරිකාවෙහි යව. නො මැරෙව. ඔබ කුමක් හෙයින් වියළුණු ගසෙහි ලතවන්නාහු ද? වසන්ත කාලයෙහි වනයක් සේ නිල් වූ ගිරවාණෙනි, ඒ කාරණය මා හට කියනු මැනවි. ඔබ කුමක් හෙයින් මේ වියළි ගස නො හරින්නහු ද?
62. යෙ වෙ සඛීනං සඛාරො භවන්ති
පාණං චජෙ සුඛදුක්ඛෙසු හංස
ඛීනං අඛීනන්ති න තං ජහන්ති
සන්තො සතං ධම්ම මනුස්සරන්තා.
63. සො හං සතං අඤ්ඤතරොස්මි හංස
ඤාතී ච මෙ හොති සඛා ච රුක්ඛො,
තං නුස්සෙහෙ ජිවිකත්ථො පහාතුං
ඛීනන්ති ඤත්වාන න හෙස ධම්මො.
(9 නි. මහාසුක ජා.)
64. සන්ති රුක්ඛා හරිතපත්තා දුමා නෙක ඵලා බහූ,
කස්මානු සුක්ඛෙ කොළාපෙ සුවස්ස නිරතො මනො.
65. ඵලස්ස උපභඤ්ජිම්හා නෙක වස්සගණෙ බහූ,
අඵලම්පි විදිත්වාන සා ව මෙත්ති යථා පුරෙ.
(62) හංසය, යහළුවන් ගේ යම් යහළු කෙනෙක් වෙත් ද, වෙන යහළුවන් ගේ සුව දුක් දෙක්හි යහළුවන් වෙනුවෙන් තමන්ගේ ප්‍රාණය වුව ද හරණාහු ය. සත්පුරුෂයෝ වනාහි සත්පුරුෂ ධර්‍මයෙහි පිහිටියාහු දුප්පත් වූවාහුය යි තමන් ගේ යහළුවන් නො හරනාහු ය.
(63) හංසය, මම ඒ සත්පුරුෂයන් ගෙන් කෙනෙක් වෙමි. මේ ගස මාගේ නෑයා ද යහළුවා ද වේ. එ බැවින් ඵල නැති බව සලකා මේ ගස නො හරිමි. එසේ හැරීම ධර්‍මය නො වේ.
තවත් වරක මළ ගසෙක මහබෝසත් ගිරවාණන් ගෙන් හංසයෙක් මෙ සේ විචාර යි.
(64) නිල් කොල ඇති ගස් බොහෝ ඇත, ගෙඩි ඇති ගස් ද බොහෝ ඇත, වියළුණා වූ මේ බෙන ගසෙහි ගිරවා ගේ සිත ඇලුනේ කවර කරුණකින් ද?
(65) වර්ෂ බොහෝ ගණනක් මුළුල්ලෙහි මේ ගසේ ඵල අනුභව කෙළෙමි. පෙර මේ ගස හා යම් මිතුරුකමක් පැවැත්තේ නම් ගෙඩි නැති කාලය වූ දැනුදු එය එසේ ම ය.
66. සුක්ඛඤ්ච රුක්ඛං කොළාපං ඔපත්ත මඵලං දුමං,
ඔහාය සකුණා යන්ති කිං දොසං පස්සසෙ දිජ.
67. යෙ ඵලත්වා සම්භජන්ති, අඵලොති ජහන්ති නං
අත්තට්ඨ පඤ්ඤා දුම්මෙධා තෙ හොන්ති පක්ඛ පාතිනො
(9 නි. මූලසුක ජා.)
68. සෙය්‍යො අමිත්තො මතියා උපෙතො
නත්වෙව මිත්තො මතිවිප්පහීනො,
මකසං වධිස්සන්ති හි ඒළ මූගො
පුත්තො පිතූ අබ්භිදා උත්තමඞ්ගං
(1 නි. මසක ජා.)
69. යො වෙ කතඤ්ඤු කතවෙදි ධීරො
කල්‍යාණ මිත්තො දළ්හභත්තී ච හොති,
දුක්ඛිතස්ස සක්කච්ච කරොති කිච්චං
තථා විධං සප්පුරිසං වදන්ති
(40 නි. සරභඞ්ග ජා.)
(66) කොළ නැත්තා වූ ගෙඩි නැත්තා වූ වියළුණා වූ බෙන ගස පක්ෂීහු හැර යන්නාහු ය. ගිරවාණනි, ඔබ එහි කිනම් වරදක් දක්නෙහි ද?
(67) යමෙක් ඵලයන් උදෙසා ගසක් භජනය කෙරෙත් ද, ගෙඩි නැති කල්හි එය හැර දමත් ද තමන්ගේ ප්‍රයෝජනය ගැන පමණක් දන්නා වූ අඥයෝ මිත්‍ර පක්ෂය නසන්නෝ ය.
(68) නුවණින් යුක්ත වූ සතුරා උතුමි. නුවණ නැති මිතුරා උතුම් නො වේ. ඒ එසේ මැයි. මෝඩ පුත්‍රයා මදුරුවා මරමි යි පොරොවෙන් ගසා පියා ගේ හිස දෙකට පැලී ය.
(69) යමෙක් අනුන් විසින් තමාට කළ ගුණ දනී ද, ගුණ කළවුන්ට ප්‍රත්‍යූපකාර කෙරේ ද, නුවණැත්තේ ද, කල්‍යාණ මිත්‍රයෙක් වේ ද, මිතුරන් හට මහත් භක්ති ඇත්තේ ද, දුකට පත් මිතුරා ගේ දුක තමා පිටට ගෙන මිතුරා දුකින් මුදවනු පිණිස වැඩ කෙරේ ද, එ බඳු තැනැත්තේ සත්පුරුෂයා ය යි පණ්ඩිතයෝ කියති.
70. මාතාපෙත්ති භරං ජන්තුං කුලෙ ජෙට්ඨා පචායිනං,
සණ්හං සඛිල සම්භාසං පෙසුණෙය්‍යප්පහායිනං.
71. මච්ඡෙර විනයෙ යුත්තං සච්චං කොධාභිභුං නරං,
තං වෙ දෙවා තාවතිංසා ආහු සප්පුරිසො ඉති.
(සක්ක සංයුත්ත)
72. අකතඤ්ඤුස්ස පොසස්ස නිච්චං විවර දස්සිනො,
සබ්බඤ්චෙ පඨවිං දජ්ජා නෙ ව නං අභිරාධයෙ.
(1 නි. සීලවනාග රාජ ජා.)
73. සච්චං කිරෙව මාහංසු නරා එකච්චියා ඉධ
කට්ඨං විප්ලාවිතං සෙය්‍යො නත්වෙ වෙකච්චියො නරො
(1 නි. සච්චං කිර ජා.)
(70-71) මවුපියන් පෝෂණය කරන්නා වූ, කුල දෙටුවන් පුදන්නා වූ, මොලොක් වූ නො රළු වූ කථා ඇත්තා වූ, කේලාම් නො කියන්නා වූ, නො මසුරු වූ, සත්‍යවාදී වූ, ක්‍රෝධ නො කරන්නා වූ, මනුෂ්‍යයා තවුතිසා වැසි දෙවියෝ සත්පුරුෂයා ය යි කීහු.
(72) නිතර අනුන් ගේ වරද ම සොයන්නා වූ, කෙළෙහි ගුණ නො දන්නා වූ, අසත්පුරුෂයා හට මුළු පොළොව ම දුන්නේ ද, ඔහු සතුටු නො කළ හැකි ය.
(73) ගොඩ ගෙන තැබූ දියේ යන දණ්ඩ උතුම් ය. විපතින් ගොඩ නගා ගන්නා ලද ඇතැම් මිනිසෙක් උතුම් නො වේ ය යි මේ ලෝකයෙහි ඇතැම් මිනිස්සු සත්‍යයක් ම කීවාහු ය.
74. අසන්තං යො පග්ගණ්හාති අසන්තමුපසෙවති,
තමෙව ඝාසං කුරුතෙ ව්‍යග්ඝො සඤ්ජීවිකො යථා.
(1 නි. සඤ්ජීවික ජා.)
75. සඤ්ඤොග සම්භොග විසෙස දස්සනං
අනරිය ධම්මේසු සඨෙසු නස්සති,
කතඤ්ච අරියෙසු ච අඤ්ජසෙසු
මහප්ඵලො හොති අණුම්පි තාදිසු.
76. යො පුබ්බෙ කත කල්‍යාණො අකා ලොකො සුදුක්කරං,
පච්ඡා කයිරා නවා කයිරා අච්චන්තං පූජනාරහො.
(4 නි. මහා අස්සාරෝහ ජා.)
(74) යමෙක් අසත්පුරුෂයා හට අනුබල දේ ද, අසත්පුරුෂයා සේවනය කෙරේ ද, ව්‍යාඝ්‍රයා තමාට උපකාර කළ සඤ්ජීවකයා මරා කෑවාක් මෙන් අසත්පුරුෂයා උපකාර කළ තැනැත්තා කන්නේ ය.
(75) එක් ව විසීම හා එක්ව ක්‍රියා කිරීම වූ ගුණය අනාර්‍ය්‍ය ස්වභාවය ඇති කෛරාටිකයන් කෙරෙහි නැසෙයි. අවංක වූ පිරිසිදු අදහස් ඇත්තා වූ පුද්ගලයකුට කළ අල්ප වූ ද උපකාරය මහත් ඵල වේ.
(76) යමෙක් පෙර තමාට කිසිදු උපකාරයක් නො කළ අනෙකකුට පළමුවෙන් උපකාර කෙරේ ද, හේ ලෝකයෙහි දුෂ්කර දෙයක් කෙළේ ය. හේ නැවත උපකාර කරන්නේ හෝ වේවා නො කරන්නේ හෝ වේවා පළමු කළ උපකාරය නිසා ඒකාන්තයෙන් පිදිය යුත්තෙක් වන්නේ ය.
77. යථා බීජං අග්ගිම්හි ඩයිහති න විරූහති,
එවං කතං අසප්පුරිසෙ ඩය්හතී න විරූහති.
78. කතඤ්ඤුම්හි ච පොසම්හි සීලවන්තෙ අරිය වුත්තිනෙ
සුඛෙත්තෙ විය බීජානි කතං තම්හි න නස්සති.
(10 නි. නිග්‍රෝධ ජා.)
79. යො පුබ්බෙ කත කල්‍යාණො කතත්ථො නාවබු ජ්ඣති
පච්ඡා කිච්චෙ සමුප්පන්නෙ කත්තාරං නාධිගච්ඡති.
(අකතඤ්ඤු ජා.)
80. යො පුබ්බෙ කත කල්‍යාණො කතත්ථො නාවබු ජ්ඣති
අත්ථා තස්ස පලුජ්ජන්ති යෙ හොන්ති අභිපත්ථිතා.
(77) යම් සේ බිජුවට ගින්නෙන් දැවේ ද නො වැඩේ ද එමෙන් අසත්පුරුෂයන් කෙරෙහි කළ ගුණ දා යයි. නො වැඩෙයි.
(78) කළ ගුණ දන්නා වූ සිල්වත් වූ පිරිසිදු අදහස් ඇත්තා වූ පුරුෂයකු කෙරෙහි කළ ගුණය යහපත් කුඹුරක බිජුවට මෙන් නො නැසේ, වැඩේ.
(79) අනුන්ගේ උපකාර ලැබූ යමෙක් කළ ගුණය නො දනී ද, හෙ තෙමේ පසුව තමාට කළ යුතු යම් කිසිවක් ඇති වූ කල්හි එයට උපකාර වන කෙනකු නො ලබයි.
(80) පෙර අනෙකකු ගෙන් උපකාර ලැබූ යමෙක් එය නො සලකා නම් ඔහු බලාපොරොත්තු වන්නා වූ අර්ථයෝ නැසෙති.
81. යො පුබ්බෙ කත කල්‍යාණො කතත්ථමනුබු ජ්ඣති
අත්ථා තස්ස පවඩ්ඪති යෙ හොන්ති අභිපත්ථිතා.
(7 නි. දල්හධම්ම ජා.)
82. නිහීයති පුරිසො නිහීන සෙවි
න ච හායෙථ කදාචි තුල්‍යසෙවි,
සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං
තස්මාත්තනො උත්තරිං භජෙථෙ
(අංගුත්තර තික නිපාත)
83. අකතඤ්ඤු මකත්තාරං කතස්සප්පතිකාරකං
යස්මිං කතඤ්ඤුතා නත්ථි නිරත්ථා තස්ස සෙවනා.
84. යස්ස සම්මුඛ චිණ්ණෙන මිත්ත ධම්මො න ලබ්භති,
අනුසූය මනක්කොසං සනිකං තම්හා අපක්කමෙ.
(4 නි. ජවසකුණ ජා.)
(81) පෙර අනුන් ගෙන් උපකාර ගත් යමෙක් එය සලකා නම් ඔහු බලාපොරොත්තු වන්නා වූ අර්ථයෝ වැඩෙති.
(82) හීනයන් සේවනය කරන්නේ පිරිහේ. සමානයන් සේවනය කරන්නේ සිටි තත්ත්වයෙන් නො පිරිහේ. ශ්‍රේෂ්ඨයන් සේවනය කරන්නේ වහා දියුණුවට පැමිණේ. එබැවින් තමන්ට වඩා ශ්‍රේෂ්ඨයන් භජනය කරවු.
(83) කෙළෙහි ගුණ නො දන්නා වූ, අනුන්ට උපකාරයක් නො කරන්නා වූ, කළ ගුණයට ගුණයක් නො කරන්නා වූ, යමකු කෙරෙහි කළ ගුණ සැලකීම නැද්ද ඔහු සේවනය කිරීම නිෂ්ඵල ය.
(84) යමකුට වැඩ කිරීමෙන් මිත්‍රධර්‍මය නො ලැබේ ද දොස් නො කියා ආක්‍රෝශ නො කොට සෙමින් ඔහු ගෙන් ඉවත් වන්නේ ය.
85. යො තෙ විස්සසතෙ තාත විස්සාසඤ්ච ඛමෙය්‍ය තෙ
සුස්සූ සී ච තිතික්ඛී ච තං භජෙහි ඉතො ගතො.
86. යස්ස කායෙන වාචාය මනසා නත්ථි දුක්කතං,
උරසී ව පතිට්ඨාය තං භජෙති ඉතො ගතො
87. යො ච ධම්මෙන චරති, චරන්තො පි න මඤ්ඤති,
විසුද්ධකාරිං සප්පඤ්ඤං තං භජෙති ඉතො ගතො
88. හළිද්දිරාගං කපිචිත්තං පුරිසං රාග විරාගිනං,
තාදිසං තාත මාසෙවි නිම්මනුස්සම්පි චෙ සියා.
මෙය බෝසතාණන් වහන්සේ විසින් තමන් කෙරෙන් ඉවත් ව යනු කැමති පුත්‍රයාට කළ අනුශාසනයෙකි.
(85) දරුව, නුඹට යමෙක් විශ්වාස ද, නුඹේ විශ්වාසය හේ පිළිගනී ද, නුඹේ විශ්වස වචන අසනු කැමැත්තේ ද, නුඹේ වරද ඉවසා ද මෙයින් ගියා වූ නුඹ ඒ පුද්ගලයා භජනය කරන්නෙහි ය.
(86) කය වචන සිත යන තුනෙන් ම යමකු ගේ වරදක් නැද්ද, මෙයින් ගියා වූ නුඹ දරුවකු සේ පිහිටා ඔහු භජනය කරන්නෙහි ය.
(87) යමෙක් දැහැමින් හැසිරේ ද, ඒ නිසා උඩඟු නො වේද, මෙයින් ගියා වූ නුඹ පිරිසිදු ක්‍රියා ඇත්තා වූ ඒ පුද්ගලයා භජනය කරන්නෙහි ය.
(88) කහ සායම වැනි අස්ථිර සිත් ඇත්තා වූ වඳුරකු ගේ සිත මෙන් වහා වෙනස් වන සිත් ඇත්තා වූ, වරින් වර සතුරු මිතුරු වන්නා වූ තැනැත්තා, ආශ්‍රය කිරීමට ලොව මිනිසුන් නැති වුව ද භජනය නො කරන්නෙහි ය.
89. ආසිවිසංව කුපිතං මිළ්හ ලිත්තං මහාපථං
ආරකා පරිවජ්ජෙ හි යානීව විසමං පථං
90. අනත්ථා තාත වඩ්ඪන්ති, බාලං අච්චුපසෙවතො,
මාස්සු බාලෙන සඞ්ගඤ්ජි අමිත්තෙනෙව සබ්බදා.
91. තං තාහං තාත යාචාමි, කරස්සු වචනං මම,
මාස්සු බාලෙන සඞ්ගඤ්ජි දුක්ඛො බාලෙහි සංගමො
(9 නි. හළිද්දිරාග ජා.)
92. න සන්ථවං කා පුරිසෙන කයිරා
අරියො අනරියෙන පජානමත්ථං,
චිරා නුවුත්ථො පි කරොති පාපං
ගජො යථා ඉන්දසමාන ගොත්තං.
(89) කිපියා වූ සර්පයකු මෙන් ද, අසූචි තැවරුණු මාර්ගයක් මෙන් ද, විෂම මාර්ගය රථයෙන් යන්නවුන් විසින් හරනාක් මෙන් ද, වහා වෙනස් වන්නා වූ පුද්ගලයා කෙරෙන් දුරින් ම දුරු වන්නෙහි ය.
(90) දරුව, වැඩියෙන් බාලයන් සේවනය කරන්නා හට අනර්ථයෝ වැඩෙති. සතුරන් හා එක් නො වන්නාක් මෙන් ම, හැම කල්හි ම බාලයන් හා ද එක් නො වෙව.
(91) දරුව, මම නුඹට යාඥා කරමි. මාගේ වචනය කරව. කිසි කලෙක බාලයන් හා සමාගම් නො කරව. බාලයන් හා සංගමය දුකෙකි.
(92) අර්‍ථානර්‍ථ දෙක දන්නා වූ ආර්‍ය්‍යයා අනාර්‍ය්‍ය වූ අසත්පුරුෂයා හා මිතුරුකම් නො කරන්නේ ය. තමා විසින් පෝෂණය කළ ඇතා ඉන්දසමානගොත්ත තවුසාට නපුර කළාක් මෙන් බොහෝ කලක් ආශ්‍රය කළා වූ ද අසත්පුරුෂයා නපුර කරන්නේ ය.
93. යත්වෙව ජඤ්ඤා සදිසො මමන්තී
සීලෙන පඤ්ඤාය සුතෙන චා පි,
තෙනෙ ව මෙත්තිං කයිරාථ ධීාරා
සුඛාවහො සප්පුරිසෙන සඞ්ගමො.
(2 නි. ඉන්දසමාන ගොත්ත ජා.)
94. න සන්ථවස්මා පරමත්ථි පාපියො
යො සන්ථවො කාපුරිසෙන හොති,
සන්තප්පියො සප්පිනා පායසෙන
කිච්ඡා කතං පණ්ණකුටිං අදඩ්ඪහි.
95. න සන්ථවස්මා පරමත්ථි සෙය්‍යො
යො සන්ථවො සප්පුරිසෙන හොති,
සීහස්ස ව්‍යග්ඝස්ස ච දීපිනො ච
සාමාමුඛං ලෙපති සන්ථවෙන
(2 නි. සන්ථව ජා.)
(93) යම් පුද්ගලයකු ගැන ශීලයෙන් හා නුවණින් ද උගත්කමින් ද, තමා හා සමාන බව දන්නේ නම් ඔහු සමග පමණක් මිතුරුකම් කරන්නේ ය. සත්පුරුෂයන් හා එක්වීම සැප එළවන්නේ ය.
(94) අසත්පුරුෂයකු හා යම් එක්වීමක් වේ ද, එයට වඩා තවත් නපුරක් නැත. ගිතෙලෙන් හා කිරිබතින් පෝෂණය කළ ගින්න දුක සේ තනා ගත් පන්සල දැවී ය.
(95) සත්පුරුෂයකු හා යම් මිත්‍රත්වයක් වේ ද, එයට වඩා උතුම් අනෙකක් නැත. ආශ්‍රය නිසා මුව දෙන සිංහයාගේ ද ව්‍යාඝ්‍රයා ගේ ද දිවියා ගේ ද මුහුණු ලෙවින්නී ය.
96. න පාප ජන සංසෙවි අච්චන්ත සුඛ මෙධති,
ගොධා කුලං කකණ්ඪො ව කලිං පාපෙති අත්තානං
(1 නි. ගෝධ ජා.)
97. අකරොන්තො පි චෙ පාපං කරොන්තමුපසෙවති
සඞ්කියො හොති පාපස්මිං අවණ්ණො චස්ස රූහති.
(ඉතිවුත්තක තික නිපාත)
98. න වණ්ණ රූපෙන නරො සුජානො
න විස්සසෙ ඉත්තර දස්සනෙන,
සුසඤ්ඤතා නඤ්හි වියඤ්ජනෙන
අසඤ්ඤතා ලොක මිමං චරන්ති.
(96) පාපජනයන් සේවනය කරන්නේ සැම කල්හි සැප නො ලබා, කටුස්සා ගොයිකුලයට විනාශය පැමිණ වූවක් මෙන් පාපීන් සේවනය කරන තැනැත්තේ තෙමේ ම තමාට විනාශය පමුණුවා ගන්නේ ය.
(97) ඉදින් පව් නො කරන්නේ වී නමුත් පව් කරන්නවුන් සේවනය කෙරේ නම් පාපයෙහි සැක කළ යුත්තෙක් වේ. ඔහුට අවර්ණයක් ද නගී.
(98) පැහැයෙන් හා සටහනින් මිනිසකු ලෙහෙසියෙන් හැඳිනිය හැකි නො වේ. එ බැවින් සුළු දැකීමකින් කෙනකු විශ්වාස නො කරන්නේ ය. යහපත් පැවතුම් ඇති සිල්වතුන් ගේ වේශයෙන් සිල් නැත්තෝ ද මේ ලෝකයෙහි හැසිරෙති.
99. පතිරූපකො මත්තිකා කුණඩලො ව
ලොහඩ්ඪමාසො ව සුවණ්ණ ජන්නො,
චරන්ති එකෙ පරිවාර ජන්නා
අන්තො අසුද්ධා බහි සොභමානා.
(කෝසල සංයුත්ත)
100. වාචාය සඛිලො මනො විදුග්ගො
ජන්නො කූප සයොව කණ්හසප්පො,
ධම්මධජො ගාමනිගමෙසු සාධු සම්මතො
දුජ්ජානො පුරිසෙන බාලිසෙන.
(6 නි. ධම්මධජ ජා.)
දුතියං සතකං
(99) රත්රන් වැනි වූ මැටියෙන් කළ කුණ්ඩලාභරණයක් මෙන් ද, රනින් වැසූ තඹ කාසියක් මෙන් ද, පිරිවරින් තත්ත්වය වැසුණා වූ ඇතුළත අසුද්ධ වූ පිට පැත්ත පමණක් ලස්සන වූ ඇතමෙක් ලෝකයෙහි හැසිරෙති.
(100) සැඟ වී බිලයෙහි නිදන විසකුරු සර්පයකු වැනි වූ, මෘදු වචන ඇති නපුරු සිත් ඇති, ගම් නියම්ගම් හි සත්පුරුෂයකැයි සම්මත වූ ධර්‍මය කොඩියක් කොට ගෙන හැසිරෙන කෛරාටිකයා බාලයන් විසින් හැඳින ගැනීමට දුෂ්කර ය.
ද්විතීය ශතකය නිමි.
1. යං යං හි රාජ භජති සන්තං වා යදිවා අසං,
සීලවන්තං විසීලං වා වසං තස්සෙව ගච්ඡති.
2. යාදිසං කුරුතෙ මිත්තං යාදිසඤ්චුපසෙවතී,
සො පි තාදිසකො හොති සහ වාසොහි තාදිසො
3. සෙවමානො සෙවමානං සම්ඵුට්ඨො සම්ඵුසං පරං,
සරො දිද්ධො කලාපං ව අලිත්ත මුපලිම්පති,
උපලෙප භයා ධීරො නෙව පාප සඛා සියා.
4. පූතිමච්ඡං කුසග්ගෙන යො නරො උපනය්හති,
කුසාපි පූති වායන්ති එවං බාලූපසෙවනා.
(1) යමෙක් සත්පුරුෂ වූ හෝ අසත්පුරුෂ වූ හෝ සිල්වත් වූ හෝ දුශ්ශිල වූ හෝ යමකු භජනය කෙරේ ද ඒ තැනැ්තතා ඔහුගේ වසඟයට පැමිණේ.
(2) යමෙක් යම් බඳු පුද්ගලයකු මිත්‍ර කොට වෙසේ ද යම් බඳු පුද්ගලයකු සේවනය කෙරේ ද හෙ තෙමේ ද එ බඳු වෙයි. එක්ව විසීමේ සැටි එසේ ය.
(3) විෂ පෙවූ හීය විෂ නැති කොපුවෙහි ද විෂ ගල්වන්නාක් මෙන් සේවනය කරනු ලබන අසත්පුරුෂයා තමා ආශ්‍රය කරන පව් නැති අනෙකා ගේ සන්තානයෙහි පව් ගල්වන්නේ ය. නුවණැත්තේ පවින් වැළකී වෙසෙන තමා ගේ සන්තානයෙහි පව් තැවරෙනවාට බියෙන් පාප යහළුවන් ඇත්තෙක් නො වන්නේ ය.
(4) යම් මිනිසෙක් කුසතණයෙන් කුණු මාලු බඳී ද එයින් තණ ද ගඳ ගමන්නේ වේ. බාල සේවනයේ සැටි ද එසේ ම ය.
5. තරඤ්ච පලාසෙන යො නරො උපනය්හතී,
පත්තා පි සුරභි වායන්ති එවං ධීරූපසෙවනා
6. තස්මා පත්ත පුටස්සෙ ච ඤත්වා සම්පාක මත්තනො,
අසන්තෙ නොපසෙවෙය්‍ය සන්තො සෙවෙය්‍ය පණ්ඩිතො
අසන්තො නිරයං නෙත්ති සන්තො පාපෙන්ති සුග්ගතිං
(20 නි. සත්තිගුම්බ ජා.)
7. සාහු දස්සන මරියානං සන්තිවා සො සදා සුඛො,
අදස්සනෙන බාලස්ස නිච්ච මෙව සුඛී සියා.
(ධ. සුඛ වග්ග)
8. සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යො හොති න පාපියො.
(5) යම් මිනිසෙක් කොළයකින් තුවරළා ඔතා ද එයින් ඒ කොළය ද සුවඳ හමන්නේ වේ. නුවණැතියන් සේවනය කිරීම ද එ බඳු ය.
(6) එ බැවින් ඔතන කොළයට මෙන් ම තමාටත් සත් පුරුෂ සේවනයේ විපාකය වන බව දැන අසත්පුරුෂයන් සේවනය නො කරන්නේ ය. සත්පුරුෂයන් සේවනය කරන්නේ ය.
(7) ආර්‍ය්‍යයන් දැකීම ද යහපති. ඔවුන් හා එක්ව විසීම හැම කල්හි ම සැපයෙකි. බාලයා නො දැකීමෙන් නම් හැම කල්හි ම වන්නේ සැපයෙකි.
(8) සත්පුරුෂයන් සමග ම එක් වවු. සත්පුරුෂයන් සමග ම මිතුරුකම් කරවු. සත්පුරුෂයන් ගේ පඤ්ච ශීල දශශීලාදි ගුණධර්මය දැන උතුමෙක් වේ. පවිටෙක් නො වේ.
9. සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්ම මඤ්ඤාය පඤ්ඤා ලබ්භති නාඤ්ඤතො
10. සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්ම මඤ්ඤාය සොක මජ්ඣෙ න සොචති.
11. සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්ම මඤ්ඤාය ඤාති මජ්ඣෙ විරොචති.
12. සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා ගච්ඡන්ති සුග්ගතිං.
13. සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා තිට්ඨන්ති සාතතං.
(9) සත්පුරුෂයන් සමග ම එක් වවු. සත්පුරුෂයන් සමග ම මිතුරුකම් කරවු. සත්පුරුෂයන් ගේ සදහම් දැන ප්‍රඥාව ලැබේ. අනෙකකින් එය නො ලැබේ.
(10) සත්පුරුෂයන් සමග ම එක් වවු. සත්පුරුෂයන් හා ම මිතුරුකම් කරවු. සත්පුරුෂයන් ගේ සදහම් දැන ශෝක මධ්‍යයේ ශෝක නො කෙරේ.
(11) සත්පුරුෂයන් සමග ම එක් වවු. සත්පුරුෂයන් හා ම මිතුරුකම් කරවු. සත්පුරුෂයන් ගේ සදහම් දැන නෑයන් මැද බබලයි.
(12) සත්පුරුෂයන් සමග ම එක් වවු. සත්පුරුෂයන් හා ම මිතුරුකම් කරවු. සත්පුරුෂයන් ගේ සදහම් දැන සත්ත්වයෝ සුගතියට යෙති.
(13) සත්පුරුෂයන් සමග ම එක් වවු. සත්පුරුෂයන් හා ම මිතුරුකම් කරවු. සත්පුරුෂයන් ගේ සදහම් දැන සත්ත්වයෝ සැම කල්හි සුවසේ සිටිති.
14. සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං,
සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුච්චති.
(දේවතා සංයුත්ත)
15. සවෙ ලභෙථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානී
චරෙය්‍ය තෙන්ත්තමනො සතීමා.
16. නො චෙ ලභෙථ නිපකං සහායං
සද්ධිං චරං සාධු වීහාරි ධීරං
රාජා ච රට්ඨං විජිතං පහාය
එකො චරෙ මාතඞ්ගරඤ්ඤො ව නාගො
17. එකස්ස චරිතං සෙය්‍යො
නත්ථි බාලෙ සහායතා
එකො චරෙ න ච පාපානි කයිරා,
අප්පොස්සුක්කො මාතඞ්ගරඤ්ඤො ව නාගො.
(9 නි. කෝසම්බි ජා.)
(14) සත්පුරුෂයන් සමග ම එක් වවු. සත්පුරුෂයන් හා ම මිතුරුකම් කරවු. සත්පුරුෂයන් ගේ සදහම් දැන සියලු දුකින් මිදේ.
(15) නුවණැත්තා වූ මනා පැවතුම් ඇත්තා වූ ධෛර්‍ය්‍යවත් වූ එක්ව හැසිරෙන්නා වූ මිතුරකු ලබන්නේ නම් සියලු උවදුරු මැඩ සිහියෙන් යුක්තව සතුටු සිතින් ඔහු හා එක්ව හැසිරෙන්නේ ය.
(16) නුවණැත්තා වූ මනා පැවතුම් ඇත්තා වූ ධෛර්‍ය්‍යවත් වූ එක්ව හැසිරෙන්නා වූ මිතුරකු නො ලබා නම් ඉදින් අත් පත් කර ගත් රට හැර හැසිරෙන්නා වූ රජකු මෙන් ද වනයෙහි එකලා ව හැසිරෙන හස්ති රාජයකු මෙන් ද තනි ව හැසිරෙන්නේ ය.
(17) තනිව හැසිරීම උතුම් ය. යහළු වී ගත යුත්තක් බාලයා කෙරෙහි නැත. පව් නො කරන්නේ ය. පිරිස් පාලනය ගැන උත්සාහය හැර වනයේ හුදකලාව වෙසෙන නාගරාජයා මෙන් හැසිරෙන්නේ ය.
18. චරඤ්ච නා ධිගච්ඡෙය්‍ය සෙය්‍යං සදිස මත්තනො,
එක චරියං දළ්හං කයිරා නත්ථි බාලෙ සහායතා.
(ධ. බාල වග්ග)
19. යස්මිං මනො නිවිසතා චිත්තං චා පි පසීදති
අදිට්ඨපුබ්බකෙ පොසො කාමං තස්මිං පි විස්සසෙ.
(1 නි. සාකේත ජා.)
20. න විස්සසෙ අවිස්සත්ථෙ විස්සත්ථෙ පි න විස්සසෙ
විස්සාසා භය මන්වෙති සීහා ව මිගමාතුකා.
(1 නි. විස්සාස භෝජන ජා.)
21. නාස්මසෙ කත පාපම්හි නාස්මසෙ අලික වාදිනෙ
නාස්මසෙ අත්ථට්ඨ පඤ්ඤම්හි අතිසන්තෙ පි නාස්මසෙ
(18) මිතුරන් සොයන තැනැත්තේ තමාට වඩා උතුම් වූවකු හෝ තමා හා සම වූවකු හෝ නො ලැබුයේ නම් එකලා ව විසීම ම කරන්නේ ය. යහළු වීමෙන් ගත යුත්තක් බාලයා කෙරෙහි නැත.
(19) පෙර නුදුටු විරූ යම් කිසිවකු කෙරෙහි දුටු පමණින් තමා ගේ සිත පිහිටා ද, දුටු පමණින් සිත පහදී ද, පෙර නුදුටු විරූ ඒ තැනැත්තා කෙරෙහි ඒකාන්තයෙන් විශ්වාස කරන්නේ ය.
(20) අවිශ්වාසයා ද විශ්වාස නො කරන්නේ ය. විශ්වාසයා ද විශ්වාස නො කරන්නේ ය. මීවින්න කෙරෙහි විශ්වාසය තැබීමෙන් සිංහයාට මරණය පැමිණියාක් මෙන් විශ්වාසය නිසා භය පැමිණේ.
(21) වරක් වරද කළ පුද්ගලයා විශ්වාස නො කරන්නේ ය. බොරු කියන්නා ද විශ්වාස නො කරන්නේ ය. තමා ගැන ම බලන්නා ද විශ්වාස නො කරන්නේ ය. පමණට වඩා ශාන්ත තැනැත්තා ද විශ්වාස නො කරන්නේ ය.
22. භවන්ති හෙකෙ පුරිසා ගොපිපාසික ජාතිකා,
ඝසන්ති මඤ්ඤෙ මිත්තානි වාචාය න ච කම්මුතා.
23. සුක්ඛඤ්ජලී පග්ගහිතා වාචාය පළිගුණ්ඨිතා,
මනුස්ස ඵෙග්ගුනා සීදෙ යස්මිං නත්ථි කතඤ්ඤුතා.
24. න හි අඤ්ඤඤ්ඤ චිත්තානං ඉත්ථිනං පුරිසාන වා,
නානා ච කත්වා සංසග්ගං තාදිසම්පි නාස්මසෙ
25. අනරියකම්මං ඔක්කන්තං අත්ථෙතං සබ්බ ඝාතිනං
නිසිතං ව පටිච්ඡන්නං තාදිසම්පි නාස්මසෙ.
26. මිත්තරූපෙනිධෙකච්චෙ සාඛල්ලෙන අචෙතසා,
විවිධෙහි උපායෙහි තාදිසම්පි නාස්මසෙ.
(22) ජලයට කිසි ආධාරයක් නො කොට බඩ පුරා බී යන පිපාසිත ගවයන් වැනි ඇතැම් පුරුෂයෝ වෙති. ඔවුහු ක්‍රියාවෙනි කිසිවක් නැති ව වචනයෙන් පමණක් සංග්‍රහ කරමින් මිත්‍රයන් ගසා කති.
(23) හිස් අත ඔසවා ගෙන කථාවෙන් සියල්ල වසා ගෙන එන නිසරු මිනිසුන් ආශ්‍රය නො කරන්නේ ය. කෘතඥතාව නැති මිනිසුන් ද ආශ්‍රය නො කරන්නේ ය.
(24) වරින් වර එක එක සිත් ඇති කර ගන්නා වූ ස්ත්‍රීන් හා පුරුෂයන් ද විශ්වාස නො කරන්නේ ය. අනතුරු කරනු පිණිස නොයෙක් ආකාරයෙන් මිතුරු වන්නවුන් ද විශ්වාස නො කරන්නේ ය.
(25) නො මනා වැඩට බැස සිටින්නා වූ ස්ථිර කථා නැත්තා වූ ඉඩක් ලද හොත් සියල්ල වනසන්නා වූ වැසී තිබෙන තියුණු කඩුවක් බඳු පුද්ගලයන් විශ්වාස නො කරන්නේ ය.
(26) ඇතමෙක් නපුරු සිතින් මටසිළුටු වචනයෙන් නොයෙක් උපායෙන් මිත්‍ර වේශයෙන් එති. එබඳු පුද්ගලයන් විශ්වාස නො කරන්නේ ය.
27. ආමිසං වා ධනං වා පි යත්ථ පස්සති තාදිසො,
දුහිං කරොති දුම්මෙධො තඤ්ච ඣත්වාන ගච්ඡති.
(10 නි. කුක්කුට ජා.)
28. ඝතාසනං කුඤ්ජරං කණ්හ සප්පං
මුද්ධාභිසිත්තං පමදා ච සබ්බා,
එතෙ නරො නිච්චයත්තො භජෙථ
තෙසං හවෙ දුබ්බිදු සබ්බ භාවො.
29. න විස්සසෙ සාඛ පුරාණ සන්ථතං
න විස්සසෙ මිත්ත පුරාණ චොරං
න විස්සසෙ රාජා සඛා මමන්ති
න විස්සසෙ ඉත්ථි දසන්න මාතරං
(27) එ බඳු පුද්ගලයා යම් තැනක කෑයුත්තක් හෝ ධනයක් හෝ දකී ද එ කල්හි ද්‍රෝහි වී ඒවා පැහැර ගෙන මිතුරා ද නසා යයි.
(28) ගින්න ය, ඇතා ය, සර්පයා ය, රජ ය, සියලු ස්ත්‍රීහු ය යන මොවුන් භජනය කරන තැනැත්තේ නිතර ම සිහියෙන් යුක්තව එය කරන්නේ ය. ඔවුන්ගේ අදහස දැන ගැනීමට දුෂ්කර ය.
(29) සර්පාදීන් විසිය හැකි බැවින් පරණ කොළ අතු ඇතිරිල්ල කෙරෙහි විශ්වාසය නො තබන්නේ ය. පරණ මිතුරකු වූ සොරා ද ඒ පරණ මිතුරු කම නිසා විශ්වාස නො කරන්නේ ය. මා ගේ යහළුවෙක කියා රජු කෙරෙහි විශ්වාසය නො තබන්නේ ය. දරුවන් දශ දෙනකු ගේ මවක වුව ද ස්ත්‍රිය කෙරෙහි විශ්වාසය නො තබන්නේ ය.
30. න විස්සසෙ රාම කරාසු නාරිසු
අච්චන්ත සීලාසු අසඤ්ඤතාසු
අච්චන්ත පෙමානු ගතස්ස භරියා
න විස්සසෙ තිත්ථ සමාහි නාරියො.
(80 නි. කුණාල ජා.)
31. ගුය්හස්ස හි ගුය්හ මෙව සාධු
න හි ගුය්හස්ස පසත්ථ මාවි කම්මං,
අනිප්ඵාදාය සහෙය්‍ය ධීරො
නිප්ඵන්නත්ථො යථා සුඛං භණෙය්‍ය.
32. න ගුය්හ මත්ථං විවරෙය්‍ය රක්ඛෙය්‍ය නං යථා නිධිං,
න හි පාතුකතො සාධු ගුය්හො අත්ථො පජානතා.
33. ථියා ගුය්හං න සංසෙය්‍ය අමිත්තස්ස ච පණ්ඩිතො,
යො චා මිසෙන සංහීරො හදයත්ථෙනො ච යො නරො
(30) අඥයන් කෙරෙහි රාගය නඟා සිට වන්නා වූ ආචාර ශීලය ඉක්මවා සිටින්නා වූ නො හික්මුණා වූ ස්ත්‍රීන් කෙරෙහි ද විශ්වාසය නො තබන්නේ ය. භාර්‍ය්‍යාව තමාට ප්‍රිය ප්‍රේම කරන්නීය කියා ද විශ්වාසය නො තබන්නේ ය. ස්ත්‍රීහු සර්වසාධාරණ තීර්ථ වැන්නෝ ය.
රහස්
(31) රහස රහසක් ලෙස තබා ගැනීම ම යහපති. රහස හෙළි කිරීම පැසසිය යුත්තක් නොවේ. නුවණැත්තේ නො බිඳෙනු පිණිස නො කියා ඉවසන්නේ ය. කාරණය මුදුන් පත් වූ පසු කැමති පරිදි කියන්නේ ය.
(32) සැඟවිය යුතු කරුණු නො හෙළි කරන්නේ ය. එය නිධානයක් සේ ආරක්ෂා කරන්නේ ය. සැඟවිය යුත්ත හෙළි කරන ලදුයේ යහපත් නො වේ.
(33) ස්ත්‍රියට රහස් නො කියන්නේ ය. සතුරාට ද නො කියන්නේ ය. යමෙක් ආමිෂයෙන් පොළඹවා ගත හැකි ද ඔහුට ද නො කියන්නේ ය. සිතේ අනෙකක් තබා මිත්‍ර රූපයෙන් කථා කොට සිත පැහැර ගන්නා තැනැත්තාට ද රහස් නො කියන්නේ ය.
34. ගුයිහ මත්ථමසම්බුද්ධං සම්බොධයති යො නරො
මන්ත භෙද භයා තස්ස දාස භූතො තිතික්ඛති.
35. යාවන්තො පුරිසස්සත්ථං ගුය්හං ජානන්ති මන්තිනං
තාවන්තො තස්ස උබ්බේගා තස්මා ගුය්හං න විස්සජෙ
36. විවිච්ච භාසෙය්‍ය දිවා රහස්සං
රත්තිං ගිරං නාතිවෙලං පමුඤ්චෙ,
උපස්සුතිකාහි සුණන්ති මන්තං
තස්මා මන්තො ඛිප්ප මුපෙති භෙදං.
(උම්මග්ග ජා.)
37. මම’න්නපානං විපුලං උළාරං
උප්පජ්ජති මස්ස මණිස්ස හෙතු,
තං තෙ න දස්සං අතියාචකොසි
න චා‘පි තෙ අස්සමං ආගමිස්සං.
(34) රහස කා හටවත් නො දැන්විය යුතු ය. යම් මිනිසෙක් එය අනුන්ට දන්වා නම් ඔහුට අනෙකා ගේ දාසයෙකු මෙන් වී සියල්ල ඉවසන්නට සිදු වන්නේ ය.
(35) පුරුෂයකු ගේ රහස් කරුණ යම් පමණ අය දනිත් නම් එ පමණට ඔහුට තැති ගැනුම් ඇත්තේ ය. එ බැවින් රහස හෙළි නො කරන්නේ ය.
(36) රහස කථා කරන තැන ජනයාගෙන් හිස් කරවා ගෙන දවල් කථා කරන්නේ ය. රාත්‍රියේ වැඩි වේලාවක් රහස කථා නො කරන්නේ ය. සැඟවී රහස් අසා ගන්නෝ ඇතහ. ඒ හේතුවෙන් මන්ත්‍රය වහා බිඳෙන්නේ ය. (කථා කළ දෙය සිදු නො වන්නේ ය.)
මෙය කණ්ඨ මාණික්‍යය ඉල්ලූ තවුසාට නො සතුටු වූ නාගරාජයකු විසින් කියන ලද්දකි. මණිකණ්ඨ ජාතකය බලනු.
(37) මේ මාණික්‍ය නිසා මා හට උසස් ආහාරපාන බොහෝ උපදින්නේ ය. එය ඔබට නො දෙන්නෙමි. ඔබ පමණ ඉක්මවා ඉල්ලන්නෙහි ය. ඔබ ගේ අසපුවට ද මම නැවත නො එන්නෙමි.
38. සුසූ යථා සක්ඛර ධොත පාණි
තාසෙසි මා සෙලං යාචමානො
තං තෙන දස්සං අතියාචකො‘සි
න චා‘පි තෙ අස්සමං ආගමිස්සං.
39. න තං යාචෙ යස්ස පියං ජිගිංසෙ
දෙස්සො හොති අතියාචනාය,
නාගො මණිං යාචිතො බ්‍රාහ්මණෙන
අදස්සනං යෙව තද‘ජ්ඣගමා.
(5 නි. මණිකණ්ඨ ජා.)
40. ද්වයං යාචනකො රාජ බ්‍රහ්මදත්ත නිගච්ඡති.
අලාභං ධනලාභං වා එවං ධම්මා හි යාචනා
41. යාචනං රොදනං නාම පඤ්චාලානං රථෙසභ,
යො යාචනං පච්චක්ඛාති තමාහු පටිරොදනං.
(38) තෙල්ගලෙහි මුවහත් කරන ලද කඩුවක් අතින් ගත් තරුණයකු විසින් බියගන්වන්නාක් මෙන් මාණික්‍යය ඉල්ලමින් ඔබ මා බිය ගැන්වූයෙහි ය. එය ඔබට නො දෙන්නෙමි. ඔබ පමණ ඉක්මවා ඉල්ලන්නෙහි ය. මින් මතු මම ඔබගේ මේ අසපුවට ද නො එන්නෙමි.
(39) යම් දෙයක් යමකුට ප්‍රිය බව දන්නේ නම් ඒ දෙය ඔහු ගෙන් නො ඉල්ලන්නේ ය. පමණ ඉක්මවා ඉල්ලීමෙන් අප්‍රිය වේ. බ්‍රාහ්මණයා විසින් මැණික ඉල්ලූ නාගයා ඔහුට නො පෙනී ම ගියේ ය.
මෙය බෝසතාණන් වහන්සේ බ්‍රහ්මදත්ත රජුට කී ගාථා තුනකි.
(40) බ්‍රහ්මදත්ත රජතුමාණෙනි, ඉල්ලන තැනැත්තේ ධනය ලැබීම හෝ නො ලැබීම යන දෙකින් එකකට පැමිණේ. ඉල්ලීමේ සැටි එසේ ය.
(41) පඤ්චාල රජතුමාණෙනි, ඉල්ලීම නම් හැඬීමකි. යමෙක් ඉල්ලීම ප්‍රතික්‍ෂේප කෙරේ ද එය නැවත හැඬීමකැයි නුවණැතියෝ කීහ.
42. මාමද්දසංසු රොදන්තං පඤ්චාලා සුසමාගතා,
තුවං වා පටිරොදන්තං තස්මා ඉච්ඡාම‘ හං රහො.
(4 නි. බ්‍රහ්මදත්ත ජා.)
43. යෙ මෙ අහං න ජානාමි අට්ඨිසෙන වණිබ්බකා,
තෙ මං සඞ්ගම්ම යාචන්ති කස්මා ත්වං මං න යාචසි.
44. යාචකො අප්පියො හොති යාචං අදදමප්පියො,
තස්මා‘ හං තං න යාචාමි මා මෙ විදෙස්සනා අහු.
45. යො චෙ යාචනජීවානො කාලෙ යාචං න යාචති,
පරඤ්ච පුඤ්ඤා ධංසෙති අත්තනා‘ පි න ජීවති.
(42) ඔබගෙන් ඉල්ලීම් වශයෙන් හඬන්නා වූ මා ද ඉල්ලූ දෙය නො දීම් වශයෙන් හඬන්නා වූ ඔබ ද මෙතැනට රැස් වූ පඤ්චාල රට වැසියෝ නො දකිත්වා යි ඔබ හා කථා කිරීමට මම ජනයන් නැති තැනක් කැමති වෙමි ය. (බ්‍රහ්මදත්ත ජාතකය බලනු)
මෙය අට්ඨිසේන නම් වූ තාපසයන් හා බ්‍රහ්මදත්ත රජු අතර ඇති වූ කථාවෙකි.
(43) අට්ඨිසේනයන් වහන්ස, මේ යාචකයෝ කවරහු දැ යි මම නො දනිමි. ඔවුහු අවුත් මාගෙන් නොයෙක් දේ ඉල්ලති. ඔබ වහන්සේ මාගෙන් කුමක් නිසා කිසිවක් නො ඉල්ලන්නහු ද?
(44) ඉල්ලන තැනැත්තේ දෙන තැනැත්තාට අප්‍රිය වේ. ඉල්ලන දේ නො දෙන තැනැත්තා ද ඉල්ලන්නහුට අප්‍රිය වේ. එ බැවින් මම ‘ඒ අප්‍රිය භාවය මාහට නො වේවා’යි ඔබගෙන් කිසිවක් නො ඉල්ලමි.
(45) ඉල්ලීමෙන් ජීවත් විය යුතු වූ ශ්‍රමණ බ්‍රාහ්මණාදි යමෙක් සුදුසු කල්හි ඉල්ලිය යුත්ත නො ඉල්ලා නම් හෙතෙමේ දායක වූ අනෙකා ද පිනෙන් පිරිහෙවයි. හෙතෙමේ ද ජීවත් නො වෙයි.
46. යො ච යාචන ජීවානො කාලෙ යාචං හි යාචති,
පරඤ්ච පුඤ්ඤං ලබ්භෙති අත්තනා‘ පි ච ජීවති.
47. න වෙදිස්සන්ති සප්පඤ්ඤා දිස්වා යාචකමාගතං,
බ්‍රහ්මචාරි පියො මෙ‘ සි වරතං භඤ්ඤමිච්ඡසි.
48. න චෙ යාචන්ති සප්පඤ්ඤා ධීරො වෙදිතු මරහති,
උද්දිස්ස අරියා තිට්ඨන්ති එසා අරියාන යාචනා.
(7 නි. අට්ඨිසේන ජා.)
49. සචෙ තෙ දුක්ඛං උප්පජ්ජෙ කාසීනං රට්ඨවඩ්ඪන,
මා ඛො නො තස්ස අක්ඛාහි යො තං දුක්ඛා න මොචයෙ.
(46) ඉල්ලීමෙන් ජීවත් විය යුතු යමෙක් සුදුසු කල්හි ඉල්ලිය යුත්ත දායකයා ගෙන් ඉල්ලා ද, හෙතෙම අනෙකාට පින් ලබවයි. තෙමේ ද ජීවත් වෙයි.
(47) දාන ඵලය දන්නා නුවණැත්තෝ ආ යාචකයා දැක නො කිපෙති. ‘උතුම් පැවතුම් ඇත්තාණෙනි, ඔබ මට ප්‍රිය වූයෙහි ය. යමක් කැමති වන්නෙහි නම් එය ඉල්ලනු මැනවි’.
(48) නුවණැත්තෝ නො ඉල්ලන්නාහු ය. නුවණැති දායකයා දියයුත්ත දැන ගැනීමට සුදුසු ය. ආර්‍ය්‍යයෝ උදෙසා සිටිති. එය ආර්‍ය්‍යයන් ගේ ඉල්ලීම ය.
මෙය බෝසතාණන් වහන්සේ දුකට පත් වූ අවස්ථාවක දී බඹදත් රජුට කී ගාථා පෙළකි.
(49) කාශිරට වැසියන් ගේ රජ්ජුරුවෙනි, ඉදින් ඔබට දුකක් උපන්නේ නම් යමෙක් ඒ දුකින් ඔබ නො මුදවා නම් ඔහුට ඒ දුක නො කියන්නේ ය.
50. යො තස්ස දුක්ඛ ජාතස්ස එකන්තමපි භාසතො,
විප්පමොචෙය්‍ය ධම්මෙන කාමං තස්ස පවෙදයෙ.
51. යො අත්තනො දුක්ඛ මනානුපුට්ඨො
පවෙදයෙ ජන්තු අකාලරූපෙ
ආනන්දිනො තස්ස භවන්ත්‍ය මිත්තා
හිතෙසිනො තස්ස දුඛී භවන්ති
52. කාලඤ්ච ඤත්වාන තථාවිධස්ස
මෙධාවිනං එකමනං විදිත්වා,
අක්ඛෙය්‍ය තිප්පානි පරස්ස ධීරො
සණ්හං ගිරං අත්ථවතිං පමුඤ්චෙ
53. සවෙ ච ජඤ්ඤා අවිසය්හ මත්තනො
නා යං නීති මය්හ සුඛාගමාය,
එකො පි තිප්පාති සහෙය්‍ය ධීරො
සච්චං හිරොත්තප්ප මපෙක්ඛමානො.
(13 නි. දූත ජා.)
(50) දුකට පැමිණියා වූ ඔබගේ දුක කී කල්හි යමෙක් ඉන් කොටසක් වත් පහකෙරේ නම් ඔහුට ඒ දුක කියතොත් කියන්නේ ය.
(51) අනුන් විසින් නැවත නැවත විචාරනු ලැබූ යමෙක් අකාලයෙහි තමා ගේ දුක මෙරමා හට කියා ද, එයින් ඔහු ගේ සතුරෝ සතුටු වන්නාහ. හිතවත්හු දුක් වන්නාහ.
(52) නුවණැත්තේ දුක කීමට සුදුසු කාලය දැන ගෙන කියනු ලබන අනෙකා තමා හා සම සිත් ඇති නුවණැතියකු බව දැන ගෙන අනෙකකුට තමා ගේ දුක කියන්නේ ය. කියන කල්හි දු අර්ථ සහිත වූ මොළොක් වූ වචනයෙන් කියන්නේ ය.
(53) ඉදින් පැමිණියා වූ දුක තමා ගේ හෝ අනුන් ගේ බලයකින් දුරු කළ නොහැකි එකක් බව දන්නේ නම්, මේ ලෝකධර්‍මය මා හට සැපය පිණිස පමණක් ඇතියක් නො වේය යි සලකා තමා කෙරෙහි ඇති ලජ්ජා භය දෙක අපේක්ෂා කරමින් නුවණැත්තේ තනිව ම දුක ඉවසන්නේ ය.
54 ලාභො අලාභො අයසො යසො ච
නින්දා පසංසා ච සුඛඤ්ච දුක්ඛං,
එතෙ අනිච්චා මනුජෙසු ධම්මා
අසස්සතා විප්පරිණාම ධම්මා.
(8 නි. අංගුත්තර)
55. පොරාණමෙතුං අතුල නෙතං අජ්ජතනා මිව.
නින්දන්ති තුණ්හි මාසීනං නින්දන්ති බහුභාණීනං,
මිතභාණිම්පි නින්දන්ති නත්ථි ලොකෙ අනින්දිතො.
56. න චා හු න ච භවිස්සති න චෙතරහි විජ්ජති,
එකන්තං නින්දිතො පොසො එකන්තං වා පසංසිතො
(ධ. කෝධ වග්ග)
57. සෙලො යථා එකඝනො වාතෙන න සමීරති,
එවං නින්දා පසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා.
(ධ. පණ්ඩිත වග්ග)
(54) ලාභ ය, අලාභ ය, යසස ය, අයසසය, නින්දාව ය, ප්‍රශංසාව ය, සැප ය, දුක ය යන මේ ස්වභාවයෝ මිනිසුන් කෙරෙහි අනිත්‍යයෝ ය, අශාශ්වතයෝ ය, පෙරළෙන ස්වභාවයෝ ය.
(55) අතුලය, මේ නින්දා කිරීමේ සිරත පරණ දෙයකි. අලුත් දෙයක් නො වේ. නො බැණ සිටින්නවුන්ට ද නින්දා කෙරෙති. බොහෝ කථාකරන්නවුන්ට ද නින්දා කෙරෙති. පමණට කථා කරන්නවුන්ට ද නින්දා කෙරෙති. ලෝකයෙහි නින්දා නො ලබන්නෙක් නැත.
(56) නින්දා ම ලබන්නා වූ කෙනෙක් හෝ ප්‍රශංසා ම ලබන්නා වූ කෙනෙක් හෝ ලෝකයේ පෙර ද නො වීය. මතු ද නූපදනේ ය. දැනුදු නැත.
(57) ඒකඝන වූ මහා ගල සුළඟින් නො සැලේ. එ මෙන් පණ්ඩිතයෝ නින්දා ප්‍රශංසා නිසා නො සැලෙති.
58. යස්ස ජිතො කාමකණ්ටකො
අක්කොසො ච වධො ච බන්ධනඤ්ච
පබ්බතො විය සො ඨිතො අනෙජො
සුඛදුක්ඛෙසු න වෙධති සභික්ඛු.
(උදාන.)
59. න සොචනාය පරිදෙවනාය
සත්ථො ච ලබ්භො අපි අප්පකො‘පි,
සොචන්ත මෙනං දුක්ඛිතං විදිත්වා
පච්චත්ථිකා අත්තමනා භවන්ති.
60. යතො ච ඛො පණ්ඩිතො ආපදාසු
න වෙධති අත්ථ විනිච්ඡයඤ්ඤු,
පච්චත්ථිකාස්ස දුඛිතා භවන්ති
දිස්වා මුඛං අවිකාරං පුරාණං.
(58) යමකු විසින් තෘෂ්ණා නමැති කටුව දිනන ලද ද ආක්‍රෝශය ද වධය ද බන්ධනය ද දිනන ලද ද සොලවන කෙලෙස් නැත්තේ පර්‍වතයක් සේ ස්ථිර භික්‍ෂු තෙමේ සැප දුක් දෙක්හි නො සැලේ.
(59) ශෝක කිරීමෙන් ද හැඬීමෙන් ද මඳ වූ ද ප්‍රයෝජනයක් නො ලැබේ. ශෝක කරන්නා වූ දුක්ඛිත වූ පුද්ගලයා දැක ඔහු ගේ සතුරෝ සතුටු වන්නා හ.
(60) ඒ ඒ දෙය තේරුම් ගැනීමට සමත් වූ පණ්ඩිතයා යම් කලෙක නො සැලේ ද, විකාරයට නො පැමිණියා වූ පෙර පරිද්දෙන් ම පවත්නා වූ ඔහු ගේ මුහුණ දැක ඔහු ගේ සතුරෝ දුක් වෙති.
61. ජප්පෙන මන්තෙන සුභාසිතෙන
අනුප්පදානෙන පවෙණියා වා,
යථා යථා යත්ථ ලභෙථ අත්ථං
තථා තථා තත්ථ පරක්කමෙය්‍ය
62. සචෙ පජානෙය්‍ය අලබ්භනෙය්‍යො
මයා ච අඤ්ඤෙන වා එස අත්ථො,
අසොචමානො අධිවාසයෙය්‍ය
කම්මං දළ්හං කින්ති කරොමි දානි.
(අංගුත්තර නිකාය 5, නි.)
63. පුබ්බෙ ව මච්චං විජහන්ති භොගා
මච්චො වා තෙ පුබ්බතරං ජහාති,
අසස්සතා භොගිනො කාමකාමි
තස්මා න සොචාම’ හං සොකකාලෙ.
(61) මන්ත්‍ර ජප කිරීමෙන් හෝ නුවණැතියන් හා මන්ත්‍රණය කිරීමෙන් හෝ ප්‍රිය වචනයෙන් කථා කිරීමෙන් හෝ තෑගි දීමෙන් හෝ වංශය දැක්වීමෙන් හෝ යම් යම් ආකාරයෙන් යම් තැනක අර්ථය සිදු වේ ද ඒ ඒ ආකාරයෙන් ඒ ඒ කාරණයෙහි උත්සාහ කරන්නේ ය.
(62) මේ කාරණය මා විසින් හෝ අනෙකකු විසින් හෝ කොතෙක් උත්සාහ කළත් නො ලැබිය හැකි බව යම් කලෙක දන්නේ ද එකල්හි “මා ගේ කරුමය මහත් ය දැන කුමක් කෙරෙම් දැ” යි ශෝක නොකරමින් ඉවසන්නේ ය.
මෙය සතුරු රජෙකු විසින් රජය පැහැර ගෙන සිර ගෙයක දමා සිටි බඹදත් රජතුමා විසින් කියන ලද ගාථා දෙකකි. (මණිකුණ්ඩල ජාතකය බලනු)
(63) කාමයන් කැමති වන තැනැත්තාණෙනි, භෝගයෝ මිනිසා පළමුවෙන් ම හෝ හරිති. මිනිසා හෝ පළමු වෙන් භෝගයන් අත් හරී. වස්තුව නැති වී නැවත දිළිඳු වන බැවින් ද මැරී වස්තුවෙන් වෙන් වන බැවින් ද ධනවත්හු අස්ථිරයෝ ය. එ බැවින් මම ශෝක කාලයේ දී ශෝක නො කරමි.
64. උදෙති ආපූරති වෙති චන්දො
අත්ථං තපෙත්වාන පලෙති සුරියො,
විදිතා මයා සත්තුක ලොක ධම්මා
තස්මා න සොචාම’ හං සොක කාලෙ.
(5 නි. මණිකුණ්ඩල ජා.)
65. යං න සක්කා පාලෙතුං පොසෙන ලපතං බහුං,
සකිස්ස විඤ්ඤූ මෙධාවි අත්තාන මුපතාපයෙ.
66. දහරා ච හි යෙ වුද්ධා යෙ බාලා යෙ ච පණ්ඩිතා,
අඩ්ඪා චෙව දළිද්දා ව සබ්බෙ මච්චු පරායණා.
67. ඵලාන මිව පක්කානං නිච්චං පපතනා භයං,
එවං ජාතාන මච්චානං නිච්චං මරණතො භයං.
(64) සතුරු රජාණෙනි, චන්ද්‍රයා උදාවෙයි. වැඩෙයි. අස්තයට යයි. සූර්‍ය්‍යයා ලොව තවා අස්තයට යයි. මා විසින් ලාභාලාභාදි ලෝක ධර්‍මයෝ දන්නා ලදහ. එ බැවින් මම ශෝක කාලයේ දී ශෝක නො කරමි.
(65) මරණයක් ගැන බොහෝ විලාප කියන්නවුන් අතුරෙන් එක් පුරුෂයකු විසින් වත් යම් ජීවිතයක් නො රැක්ක හැකි ය. ඒ බව දන්නා නුවණැත්තේ ශෝක කොට හඬා දොඩා කුමට තමා ගේ ආත්මය තවන්නේ ද?
(66) ළදරුවෝ ය, මහල්ලෝ ය, බාලයෝ ය, පණ්ඩිතයෝ ය, පොහොසත්තු ය, දුප්පත්තු ය යන හැම දෙන ම මරහු ගේ වශයට පැමිණෙන්නෝ ය.
(67) ඉදුණු ගෙඩි වලට නිරතුරුව ම වැටීම පිළිබඳ බිය ඇත්තේ යම් සේ ද, එමෙන් උපන් සත්ත්වයනට නිතරම මරණයෙන් බිය ඇත්තේ ය.
68. සාය මෙකෙ න දිස්සන්ති පාතො දිට්ඨා බහුජ්ජනං,
පාතෙ එකෙ න දිස්සන්ති සායං දිට්ඨා බහුජ්ජනා.
69. පරිදෙවයමානො චෙ කඤ්චි අත්ථං උදබ්බහෙ,
සම්මුළ්හො හිංස මත්තානං කයිරා චෙතං විචක්ඛණො.
70. කිසො විවණ්ණො භවති හිංසා මත්තාන මත්තනා,
න තෙන පෙතා පාලෙන්ති නිරත්ථා පරිදෙවනා.
71. යථා සරණ මාදිත්තං වාරිනා පරිනිබ්බයෙ,
එවම්පි ධීරො සුතවා මෙධාවි පණ්ඩිතො නරො,
ඛිප්පමුප්පතිතං සොකං වාතො තූලං ව ධංසයෙ
72. එකො ව මච්චො අච්චෙති එකො ව ජායතෙ කුලෙ,
සංයො පරමා ත්වෙ ව සම්භොගා සබ්බ පාණිනං
(68) උදයේ බොහෝ ජනයෝ දක්නා ලැබෙත්. ඔවුන් ගෙන් ඇතමොක් සවස නො දක්නා ලැබෙත්. සවස බොහෝ ජනයෝ දක්නා ලැබෙත්. ඔවුන් ගෙන් ඇතැමෙක් උදයේ නො දක්නා ලැබෙත්.
(69) මුළා වී තමාට ම හිංසා කරමින් හඬන තැනැත්තේ එයින් යම්කිසි අර්ථයක් ලබා නම් නුවණැත්තේ ඒ හැඬීම කරන්නේ ය.
(70) ශෝක කරන්නේ තමාට ම හිංසා කර ගැනීමෙන් කෘශ වේ. දුර්‍වර්‍ණ වේ. කෙනකු ගේ ශෝකයෙන්, මිය ගිය අය නො රැකෙති. හැඬීම නිෂ්ඵල ය.
(71) යම් සේ ගිනි ගත් ගෙය ජලයෙන් නිවන්නේ ද, එසේ උගත් නුවණැති මිනිස් තෙමේ, උපන්නා වූ ශෝකය, වාතය පුලුන් රොදක් සේ පිඹ හරින්නාක් මෙන් දුරු කරන්නේ ය.
(72) මිනිසා තනිව ම මෙලොවින් පහ වෙයි. තනිව ම නැවත උපදී. සියල්ලන් ගේ ම නෑ මිතුරුකම් එක්වීම ප්‍රධාන කොට ඇත්තේ ය.
73. තස්මා හි ධීරස්ස බහුස්සුතස්ස
සම්පස්සතො ලොකමිමං පරඤ්ච,
අඤ්ඤාය ධම්මං හදයං මනඤ්ච
සොකා මහන්තා පි න තාපයන්ති.
(11 නි. දසරථ ජා.)
74. න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස,
න විජ්ජති සො ජගතිප්පදෙසො
යත්ථට්ඨිතො මුච්චෙය්‍ය පාපකම්මා.
(ධ. පාපවග්ග)
75. ලභති හන්තා හන්තාරං ජෙතාරං ලභතෙ ජයං,
අක්කොසකො ච අක්කොසං රොසෙතාරඤ්ච රොසකො.
අථ කම්ම විවට්ටෙන සො විලුත්තො විලුම්පති.
(කෝසල සංයුත්ත)
(73) අෂ්ට ලෝක ධර්‍මය දැනීම නිසා මෙලොවත් පරලොවත් දක්නා වූ උගත් නුවණැති තැනැත්තා ගේ පපුව හා සිත මහත් වූ ද ශෝකයෝ නො තවති. තැවීමට සමත් නො වෙති.
(74) අහසෙහි විසුයේ ද, සමුද්‍රමධ්‍යයට ගියේ ද, පර්‍වත විවරයකට පිවිසියේ ද, කර්‍මයෙන් නො මිදේ. යම් තැනක වෙසෙන තැනැත්තේ පාපකර්‍මයා ගේ විපාකය නො ලබා ඉන් මිදේ ද එබඳු භූමි ප්‍රදේශයක් නැත.
(75) අනුන් නසන තැනැත්තේ තමා නසන කෙනකු ද ලබයි. අනුන් පරදන තැනැත්තේ තමා පරදවන්නකු ද ලබයි. අනුන්ට ආක්‍රෝශ කරන්නේ ආක්‍රෝශ කරන්නකු ලබයි. අනුන්ට රිදවන තැනැත්තේ තමාට රිදවන්නකු ලබයි. කර්‍මය ආපසු කැරකීමෙන් අනුන් අයත් දෙය පැහැර ගන්නා තැනැත්තා ගේ දෙය අනුන් විසින් පැහැර ගනු ලැබේ.
76. යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පොසස්ස අනඞ්ගනස්ස,
තමෙව බාලං පච්චෙති පාපං
සුඛුමො රජො පටිවාතං ව ඛිත්තො.
(ධ. පාප වග්ග)
77. යො දණ්ඩෙන අදණ්ඩෙසු අප්පදුට්ඨෙසු දුස්සති,
දසන්න මඤ්ඤතරජ ඨානං ඛිප්පමෙව නිගච්ඡති.
78. වෙදනං ඵරුසං ජානිං සරීරස්ස ච භෙදනං,
ගරුකං වා පි ආබාධං චිත්තක්ඛෙපං ච පාපුනෙ.
79. රාජතො වා උපස්සග්ගං අබ්භක්ඛානං ව දාරුණං,
පරික්ඛයං ව ඤාතීනං භොගානඤ්ච පභඞ්ගුරං
(76) අනුන්ට නපුරු කම් නො කරන්නා වූ පිරිසිදු පැවතුම් ඇත්තා වූ කෙලෙස් නැත්තා වූ තැනැත්තා හට යමෙක් නපුරු කම් කෙරේ ද, ඒ පාපය උඩු සුළඟට ගැසූ සියුම් ධූලියක් මෙන් ඒ බාලයා කරා ම ආපසු එන්නේ ය.
(77) අනුන්ට නො රිදවන්නා වූ අපරාධ නො කරන්නා වූ රහතුන්ට යමෙක් පීඩා කිරීම් වශයෙන් අපරාධ කෙරේ ද, හෙ තෙමේ කරුණු දශයකින් එකකට මෙලොව දීම වහා පැමිණෙන්නේ ය.
(78) හෙ තෙමේ ශීර්ෂරෝගාදියෙන් උපදනා මහත් වූ වේදනාවකට හෝ පැමිණෙන්නේ ය. දුකසේ සපයා ගත් වස්තු පිරිහීමකට හෝ පැමිණෙන්නේ ය. අත් පා ආදියේ බිඳුමකට හෝ පැමිණෙන්නේ ය. ලාදුරු ආදී නපුරු රෝගයකට හෝ පැමිණෙන්නේ ය. උමතු බවට හෝ පැමිණෙන්නේ ය.
(79) හෙ තෙමේ තනතුරෙන් පහ කරනු ලැබීම් ආදි රජුන් ගෙන් වන උවදුරකට හෝ පැමිණේ. නො කළ වරදකින් වුව ද දරුණු චෝදනාවක් හෝ ලබන්නේ ය. තමාට පිහිට වන නෑයන් ගෙන් හෝ පිරිහෙන්නේ ය. කුණු වීම් දිරා යාම් ආදියෙන් ඔහු සතු වස්තුව හෝ නැසෙන්නේ ය.
80. අථ චස්ස අගාරානි අග්ගි ඩහති පාවකො,
කායස්ස භෙදා දුප්පඤ්ඤො නිරයං සො උපපජ්ජති.
(ධ. දණ්ඩ වග්ග)
81. මාප්පමඤ්ඤෙථ පාපස්ස න මං තං ආගමිස්සති,
උදබින්දු නිපාතෙන උදකුම්භො පි පූරති,
පුරති බාලො පාපස්ස ථොක ථොකම්පි ආචිනං.
(ධ. පාප වග්ග)
82. මධු වා මඤ්ඤති බාලො යාව පාපං න පච්චති,
යදා ච පච්චති පාපං අථ බාලො දුක්ඛං නිගච්ඡති.
83. නහි පාපං කතං කම්මං සජ්ජු ඛීරං‘ ව මුච්චති,
ඩහන්තං බාලමන්වෙති භස්මච්ඡන්නො‘ ව පාවකො.
(ධ. බාල වග්ග)
(80) ඔහු ගේ ගෙවල් හෝ ගින්නෙන් දැවෙන්නේ ය. නුවණ නැත්තා වූ හෙ තෙමේ මරණින් මතු ද නරකයෙහි උපදනේ ය.
(81) ‘මා කළ පාපය සුළුය, එය විපාක දීම් වශයෙන් මා කරා නො එන්නේ ය’ යි නො සිතවු. දිය බින්දු වැටීමෙන් ද වතුර කළය පිරෙන්නේ ය. එමෙන් මඳ මඳ වුව ද පව් කිරීමෙන් මෝඩයාට පව් පිරෙන්නේ ය.
(82) යම් තාක් පාපය විපාක දෙන තැනට නො පැමිණේ ද එතෙක් මෝඩයා එය මී පැණි සේ සිතයි. යම් කලෙක පාපය විපාක බවට පැමිණේ ද එකල මෝඩයා දුකට පත්වේ.
(83) දෙවු කෙණෙහි ම කිරි නො මිදෙන්නාක් මෙන් පාපය කළ කෙණෙහි ම විපාක බවට නො පැමිණේ. එය විපාක දෙන තුරු නො නැසී අළුයෙන් වැසුණු ගිනි පුපුරක් සේ සන්තානය දවමින් බාලයා අනුව පවත්නේ ය.
84. වාණිජො‘ව භයං මග්ගං අප්පස්සත්ථො මහද්ධනො,
විසං ජීවිතුකාමො‘ ව පාපානි පරිවජ්ජයෙ.
(ධ. පාප වග්ග)
85. චරන්ති බාලා දුම්මේධා අමිත්තේනෙ‘ ව අත්තනා,
කරොන්තා පාපකං කම්මං යං හොති කටුකප්ඵලං.
86. න තං කම්මං කතා සාධු යං කත්වා අනුතප්පති,
යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසෙවති.
87. තඤ්ච කම්මං කතං සාධු යං කත්වා නානුතප්පති,
යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවති.
88. පටිගච්චෙව තං කයිරා යං ජඤ්ඤා හිතමත්තනො,
න සාකටික චින්තාය මන්තා ධීරො පරක්කමෙ.
(84) බොහෝ ධනය ඇති මඳ පිරිස ඇති වෙළෙන්දා භය සහිත මඟ හරනා මෙන් ද, ජීවත් වනු කැමැත්තා විසින් විෂය හරනා මෙන් ද නුවණැත්තේ පාපය හරනේ ය.
(85) යම් කර්‍මයක් කටුක ඵල ඇත්තේ ද මෝඩයෝ එබඳු පව් කම් කරමින් සතුරකු බඳු වූ සිතින් හැසිරෙති.
(86) යම් කර්‍මයක් කොට පශ්චාත්තාප වේ ද කඳුළු පිරුණු මුහුණ ඇත්තේ හඬමින් යම් කර්‍මයක විපාකය විඳින්නට වේ ද එබඳු කර්‍මය කරන ලදුයේ යහපත් නො වේ.
(87) යම් කර්‍මයක් කර නො පසු තැවේ ද යම් කර්‍මයක විපායක සිනාවෙන් යුක්ත වූයේ සතුටු සිත් ඇත්තේ විඳී ද එබඳු කර්‍මය කරන ලදුයේ යහපත් වේ.
(88) යම් කර්‍මයක් තමාට හිත යයි දන්නේ ද එය පළමු කොට කරන්නේ ය. නුවණැත්තා වූ ධෛර්‍ය්‍යවත් තැනැත්තා රියකරුවන් ගේ සිත බඳු සිතින් වැඩ නො කරන්නේ ය.
89. යථා සාකටිකො පත්තං සමං හිත්වා මහා පථං,
විසමං මග්ගමාරුය්හ අක්ඛච්ඡින්නොව ඣායති.
90. එවං ධම්මා අපක්කම්ම අධම්ම මනුවත්තිය,
මන්දො මච්චුමුඛං පත්තො අක්ඛච්ඡින්නො ව ඣායති.
(දේවපුත්ත සංයුත්ත)
91. යො පාණමතීපාතෙති, මුසාවාදඤ්ච භාසති,
ලොකෙ අදින්නං ආදියති පරදාරඤ්ච ගච්ඡති.
92. සුරාමෙරය පානඤ්ච යො නරො අනුයුඤ්ජති,
ඉධෙ ව මෙසො ලොකස්මිං මූලං ඛණති අත්තනො.
(ධ. මල වග්ග)
93. ඉධ මොදති පෙච්ච මොදති
කතපුඤ්ඤො උභයත්ථ මොදති,
සො මොදති සො පමොදති,
දිස්වා කම්ම විසුද්ධි මත්තනො.
(ධ. යමක වග්ග)
(89) යම් සේ රිය කරුවා සම මාර්ගය හැර මහා මාර්ගය හැර විෂම මාර්ගයට බැස සුන් අකුරු ඇත්තේ දුක් සහිත සිතුවිලි සිතා ද-
(90) එපරිද්දෙන් ධර්‍මයෙන් පහ අධර්‍මයට අනුකූල වී මෝඩයා මරු කටට පැමිණියේ සුන් අකුරු ඇතියහු මෙන් දුක් සහිත සිතිවිලි සිතයි.
(91-92) යමෙක් සතුන් මරා ද, බොරු කියා ද, ලෝකයෙහි නුදුන් දෑ සොරා ගනී ද, පරදාරාවන් කරා යේ ද, සුරාමේරය පානයෙහි යෙදේ ද, හෙතෙමේ මෙ ලොව තමාගේ මුල සාරන්නේ ය.
(93) කරන ලද පින් ඇත්තේ මෙලොව ද සතුටු වෙයි. පරලොව ද සතුටු වෙයි. දෙලොව ම සතුටු වෙයි. හෙතෙමේ තමාගේ පින් කම දැක මෙලොව සතුටු වෙයි. එහි විපාකය විඳිමින් පරලොව වඩාත් සතුටු වෙයි.
94. අත්තානං වෙ පියං ජඤ්ඤා න නං පාපෙන සංයුජෙ,
නහි තං සුලභං හොති සුඛං දුක්කත කාරිනා.
(කෝසල සංයුත්ත)
95. අත්තනා කුරුතෙ ලක්ඛි අලක්ඛිං කුරුතත්තනා,
න හි ලක්ඛිං අලක්ඛිං වා අඤ්ඤො අඤ්ඤස්ස කාරකො.
(6 නි. සිරිකාලකණ්ණි ජා.)
96. යො වෙ පියං මෙති පියානුකඩ්ඛී
අත්තං තිරං කත්වා පියානි සෙවති,
සොණ්ඩො ව පීත්වාන විසස්ස ථාලං
තෙනෙව සො හොති දුඛී පරත්ථ.
(94) ඉදින් ආත්මය ප්‍රිය දෙයක් බව දන්නේ නම් ඒ ආත්මය පාපයෙන් යුක්ත නො කරන්නේ ය. පව් කරන්නා හට සැපය සුලභ නො වේ.
(95) තමා ම තමා කාලකණ්ණියකු ද කෙරේ. ශ්‍රියා ඇතියකු ද කෙරේ. අනෙකෙක් අනෙකකු කාලකණ්ණියකු හෝ ශ්‍රියා ඇතියකු හෝ කරන්නෙක් නො වේ.
(96) යමෙක් මේ දෙය මට ප්‍රියය යි ප්‍රිය දෙයට ආශා කොට ආත්මය අහක දමා ප්‍රිය දෙය සේවනය කෙරේ ද හෙතෙමේ සොණ්ඩයෙක් විෂ මිශ්‍ර රා බී දුකට පත් වන්නාක් මෙයි එයින් පරලෙව්හි දුකට පත් වේ.
97. යොවීධ සඞ්ඛාය පියානි හිත්වා
කිච්ඡෙන‘ පි සෙවති අරිය ධම්මං,
දුක්ඛිතො ව පිත්වාන යථොසධානි
තෙනෙ‘ ව සො හොති සුඛී පරත්ථ
(80 නි. මහා සුතසෝම ජා.)
98. නවෙ පියං මෙ ති ජනින්ද තාදිසො
අත්තං නිරං කත්වාන පියානි සෙවති,
අත්තා ව සෙය්‍යො පරමා ව සෙය්‍යො
ලබ්භා පියා ඔචිතත්ථෙන පච්ඡා.
(6 නි. ඛරපුත්ත ජා.)
(97) මේ ලෝකයෙහි යමෙක් නුවණින් ප්‍රිය වස්තූන් හැර දුකින් වුව ද ආර්‍ය්‍ය ධර්‍මය සේවනය කෙරේ නම්, යම් සේ දුකින් වුව ද ඖෂධයන් පානය කොට සුවපත් වන්නාක් මෙන් ඒ ආර්‍ය්‍ය ධර්‍ම සේවනයෙන් ම හෙතෙමේ පරලොව සැප ඇත්තේ වන්නේ ය.
මෙය භාර්‍ය්‍යාව නිසා නැසෙන්නට ගිය රජකුට කළ අනුශාසනයෙකි.
(98) මහරජ, ඔබ වැනි කෙනකු මාහට මෙය ප්‍රිය යයි ආත්මය අහක දමා ප්‍රිය වස්තූන් සේවනය කෙරේ නම් එය නුසුදුසු ය. ආත්මය ම උතුම් ය. අන්‍ය ප්‍රිය වස්තූන්ට වඩා ආත්මය ඉතා උතුම් ය. ධනය රැස් කර ගත් කල්හි ප්‍රිය වස්තු කැමති පමණ ලැබිය හැකි ය.
99. සුකරානි අසාධූනි අත්තනො අහිතාන ච,
යං වෙ හිතඤ්ච සාධුඤ්ච තං වෙ පරම දුක්කරං.
(ධ. අත්ත වග්ග)
100. සුකරං සාධුනා සාධු සාධු පාපෙන දුක්කරං,
පාපං පාපෙන සුකරං පාප මරියෙහි දුක්කරං.
(උදාන)
තතියං සතකං.
(99) තමාට අහිත වූ නො මනා වැඩ කිරීම පහසු ය. යමක් තමාට හිත ද යහපත් ද ඒ දෙය කිරීම අතිශයින් දුෂ්කර ය.
(100) සත්පුරුෂයා හට යහපත් කිරීම පහසු ය. අසත්පුරුෂයා හට යහපත කිරීම දුෂ්කර ය. පාපියාට පාපය කිරීම පහසු ය. ආර්‍ය්‍යයන්ට පාපය කිරීම අපහසු ය.
තෘතීය ශතකය
නිමි.
1. වායමෙථෙ‘ ව පුරිසො න නිබ්බින්දෙය්‍ය පණ්ඩිතො,
පස්සාමි වෙ‘ හං අත්තානං යථා ඉච්ඡ තථා අහු.
2. වායමෙථෙ‘ ව පුරිසො න නිබ්බින්දෙය්‍ය පණ්ඩිතො,
පස්සාමි වො‘ හං අත්තානං උදකා ථල මුබ්භතං.
3. දුක්ඛූපනීතො පි නරො සපඤ්ඤො
ආසං නං ජින්දෙය්‍ය සුඛාගමාය,
බහූ හි ඵස්සා අහිතා හිතා ච
අවිතක්කිතා මච්චු මුපබ්බජන්ති.
(මහා ජනක ජා.)
මෙය මහත් වූ වීර්‍ය්‍යයෙන් සත් දිනක් මුහුදේ පිහිනා දිවි ගළවා ගත් මහා ජනක රජතුමා ගේ අනුශාසනයෙකි.
(1) පුරුෂ තෙමේ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගනු පිණිස වීර්‍ය්‍ය කරන්නේ ය. නුවණැත්තේ “අමාරු වැඩෙක, නො කළ හැකි වැඩෙක” කියා කළ යුත්ත ගැන නො කලකිරෙන්නේ ය. මමයමක් කැමති වූයෙම් ද එය සිදු විය. මම වීර්‍ය්‍ය කිරීමෙන් අභිමතාර්‍ථය සිදු වන බව ට සාක්‍ෂ්‍යක් වශයෙන් මා ම දකිමි.
(2) පුරුෂ තෙමේ අභිමතාර්ථ සිඬිය සඳහා වීර්‍ය්‍ය කරන්නේ ම ය. කළ යුත්ත ගැන නො කලකිරෙන්නේ ය. මම වීර්‍ය්‍යයේ මහත් ඵල ඇති බවට සාක්‍ෂ්‍ය වශයෙන් වීර්‍ය්‍යය නිසා දියෙන් ගොඩ නගා ගත් මා ම දකිමි.
(3) නුවණැති මිනිස් තෙමේ දුකට පැමිණියේ ද නැවත සැපයට පැමිණීමේ ආශාව නො සිඳින්නේ ය. මිනිසාට පැමිණෙන සැප දුක් බොහෝ ය. වීර්‍ය්‍යයෙන් සැපයට පැමිණිය හැකි බව නො සිතන්නෝ පසුබට වී මරණයට පැමිණෙති.
4. කයිරා චෙ කයිරා ථෙනං දළ්හමෙනං පරක්කමෙ,
සිථිලො හි පරිබ්බාජො භීය්‍යො ආකිරතෙ රජං
5. අකතං දුක්කතං සෙය්‍යො පච්ඡා තපති දුක්කතං,
කතඤ්ච සුකතං සෙය්‍යො යං කත්වා නානුතප්පති.
(දේවපුත්ත සංයුත්ත)
6. අජ්ජෙ ව කිච්චං ආතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ
න හි නො සඞ්ගරං තෙන මහාසෙනෙන මච්චුනා.
(ධ. මග්ග වග්ග)
7. පරිත්තං දාරු මාරුය්හ යථා සීදෙ මහණ්ණවෙ,
එවං කුසීත මාගම්ම සාධුජීවි‘ පි සීදති,
තස්මා තං පරිවජ්ජෙය්‍ය කුසීතං හීනවීරියං.
(ඉතිවුත්තක)
(4) ඉදින් යමක් කරන්නේ නම් එය හොඳින් ම කළ යුතු ය. ලිහිල් කොට ගත් පැවිද්ද වඩා කෙලෙස් රජස් වගුරුවා.
(5) මනා කොට නො කරන දෙය නො කිරීම ම උතුමි. නො මනා කොට කළ දෙය නිසා පසු තැවෙන්නට වන්නේ ය. කරන දෙය හොඳට කරන ලදුයේ ම උතුම් වේ. හොඳින් කරන දෙය කොට නො පසු තැවෙන්නේ ය.
(6) කළ යුත්ත අද ම කළ යුතු ය. සෙට වන මරණය කවරෙක් දනී ද, මහා සේනා ඇති ඒ මාරයා හා අප ගේ පොරොන්දුවක් නැත.
(7) කුඩා දරකඩකට නැඟුණු තැනැත්තා එය නිසා යම් සේ මහා සාගරයේ ගැළේ ද, එමෙන් අලසයා නිසා ඔහු ඇසුරු කරන තැනැත්තා ද පිරිහීම් සයුරේ ගැළේ.
8. යො පුබ්බෙ කරණීයානි පච්ඡා සො කාතුමිච්ඡති,
වරණ කට්ඨභඤ්ජො ව ස පච්ඡා මනුතප්පති.
(1 නි. වරණ ජා.)
9. අතිසීතං අතිඋණ්හං අතිසායමිදං අහු,
ඉති විස්සට්ඨ කම්මන්තෙ අත්ථා අච්චෙන්ති මානවෙ.
10. යො ච සීතඤ්ච උණහඤ්ච තිණා භීය්‍යො න මඤ්ඤති,
කරං පුරිස කිච්චානි ස පච්ඡා නානුතප්පති.
(දීඝ නි. සිගාලසුත්ත)
11. නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා
අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා
(1 නි. නක්ඛත්ත ජා.)
(8) යමෙක් පළමු කළ යුතු දෑ පසුව කරනු කැමති වේ ද, හෙ තෙ තෙමේ කොළ සැලුණු අමු ලුණුවරණ ගසින් ලෙහෙසියෙන් දර කඩා ගන්නට සිටි මානවකයා මෙනි. හේ ඒ වරදින් පසුව තැවෙන්නේ ය. (වරණ ජාතකය බලනු)
(9) මේ වෙලාව ඉතා සීත ය. මේ වෙලාව ඉතා උෂ්ණ ය. මේ වෙලාව ඉතා සවස ය. මේ වෙලාව ඉතා දවාල ය යි කර්‍මාන්තයන් නො කර හරනා අලස මිනිස්සු අර්‍ථයන් ඉක්මවති.
(10) යමෙක් සීතල හා උෂ්ණය තණ කොළයකට වඩා මහත් කොට නො සිතා ද, පුරුෂ කෘත්‍යයන් කරන්නා වූ හෙ තෙමේ නො පසු තැවෙන්නේ ය.
(11) නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එය ම නැකත ය. අහසේ තරු කුමක් කෙරේ ද?
12. අප්පකෙනා‘ පි මෙධා වි පාභතෙන විචක්ඛණො,
සමුට්ඨාපෙති අත්තානං අණුං අග්ගී ව සන්ධමං.
(1 නි. චුල්ලසෙට්ඨි ජා.)
13. යං උස්සුකා සඞ්ඝරන්ති අලක්ඛිකා බහුං ධනං,
සිප්පවන්තො අසිප්පා ච ලක්ඛී ව තානි භුඤ්ජති.
14. සබ්බත්ථ කතපුඤ්ඤස්ස අතිච්චඤ්ඤෙව පාණිනො,
උප්පජ්ජන්ති බහූ භොගා අපි නායතනෙසු පි.
(3 නි. සිරි ජා.)
15. අසමෙක්ඛිත කම්මන්තං තුරිතාභි නිපාතිනං,
සානි කම්මානි තප්පෙන්ති උණ්හං වජ්ඣොහටං මුඛෙ.
(2 නි. සිගාල ජා.)
(12) ක්‍රියාවෙහි දක්ෂ වූ නුවණැත්තා වූ තැනැත්තේ ස්වල්ප වූ ද බඩු මිලයකින් තමා නඟා සිටුවයි. ස්වල්ප වූ ගින්න පිඹීමෙන් මහත් කරන්නාක් මෙනි.
(13) ශිල්ප දන්නා වූ ද නො දන්නා වූ පින් නැති ජනයෝ මහත් වූ උත්සාහයෙන් යම් ධනයක් රැස් කෙරෙත් ද, එය පින් ඇති තැනැත්තේ ම අනුභව කෙරේ. (රැස් කළ අයට අනුභව කරන්නට නො ලැබේ.)
(14) පින් කළ තැනැත්තා හට හැම තන්හි ම අන්‍ය පින් නැති සත්ත්වයන් යට පත් කොට බොහෝ භෝගයෝ අනායතනයන්හි ද උපදිති.
(15) පරීක්ෂා නො කොට වැඩ කරන්නා වූ නො විමසා වහා කටයුත්තට පනින්නා වූ තැනැත්තන් ඒ කර්මයෝ තවති. කටෙහි දැමූ උණු දෙය කට දවන්නාක් මෙනි.
16. අනිසම්ම කතං කම්මං අනවත්ථාය චින්තිතං,
භෙජ්ජස්සෙ‘ ව හෙභඞ්ගො විපාකො හොති පාපකො.
17. නිසම්ම ච කතං කම්මං සම්මාවත්ථාය චින්තිතං,
භෙසජ්ජස්සෙ‘ ව සම්පත්ති විපාකො හොති භද්‍රකො.
(20 නි. සෝමනස්ස ජා.)
18. බෙලුවං පතිතං සුත්වා දද්දභන්ති සසො ජවි,
සකස්ස වචනං සුත්වා සන්තත්තා මිග වාහිනි.
19. අප්පත්වා පද විඤ්ඤානං පරඝොසානු සාරිනො,
පනාද පරමා බාලා තෙ හොන්ති පර පත්තියා.
20. යෙ ච සීලෙන සම්පන්නා පඤ්ඤා යූපසමෙ රතා,
ආරකා විරතා ධීරා න හොන්ති පරපත්තියා.
(4 නි. දද්දභ ජා.)
(16) කළ යුතු නො කළ යුතු බව ගැන විමසීමක් නො කොට කාරණානුකූල ව නො සිතා කළ දෙය, බෙහෙතේ අපථ්‍ය වීම මෙන් නපුරු විපාක ඇත්තේ ය.
(17) කළ යුතු නො කළ යුතු බව ගැන විමසා කරන ලද්දා වූ ද කාරණානුකූලව සිතන ලද්දා වූ ද කර්‍මය බෙහෙතේ පථ්‍ය වීම මෙන් යහපත් විපාක ඇත්තේ ය.
(18) දද්දභ යන හඬින් බෙලි ගෙඩියක් වනයේ වැටෙනු අසා සාවා බිය වී දිවී. සාවාගේ කථාව අසා ඒ වනයේ විසූ මෘග සමූහය ද බිය වී දුවන්නට වූහ.
(19) ශ්‍රෝතාපත්ති මාර්ග විඥානයට නො පැමිණ අනුන් ගේ කීම්වලට හැරෙන ස්වභාවය ඇත්තා වූ අනුන්ගේ කීම් උතුම් කොට ගන්නා වූ යම් බාල කෙනෙක් වෙත් ද ඔවුහු අනුන් විසින් ඒ ඒ අතට යවනු ලබන්නෝ වෙති.
(20) යම් කෙනෙක් ආර්‍ය්‍ය ශීලයෙන් යුක්ත වූවාහු ද ආර්‍ය්‍ය ප්‍රඥාවෙන් යුක්ත වූවාහු ද කෙලෙස් සන්සිඳවීමෙහි ඇලුනාහු ද පාපයෙන් දුරින් ම වෙන් වූ ඒ නුවණැත්තෝ අනුන් විසින් ඒ ඒ අතට හරවනු ලබන්නෝ නො වෙති.
21. උදක ථල චරස්ස පක්ඛිනො
නිච්චං ආමක මච්ඡ භොජිනො,
තස්සානුකරං සවිට්ඨකො
සෙවාලෙ පළිගුණ්ඨිතො මතො.
(2 නි. විරක ජා.)
22. අසීහො සීහ මානෙන යො අත්තානං විකුබ්බති,
කුට්ඨූ‘ ව ගජමාසජ්ජ සෙති භූම්‍යා අනුත්ථුනං.
23. යසස්සිනො උත්තම පුග්ගලස්ස
සඤ්ජාත බන්ධස්ස මහබ්බලස්ස,
අසමෙක්ඛිය ථාම බලුපපත්තිං
ස සෙති නාගෙන හතො‘ ව ජම්බුකො.
(21) නිතර අමු මස් අනුභව කරන්නා වූ දිය ගොඩ දෙක්හි ම හැසිරෙන පක්ෂියා වූ දිය කාවා අනුකරණය කොට දියට බැස දිය සෙවලේ පැටලී සවිට්ඨකයා මළේ ය.
(22) සිංහ නො වූ යමෙක් සිංහ මානය ගෙන තමා වෙනස් කෙරේ ද, ඔහුට ද සිංහ මානය ගෙන ඇතාට පැන සුසුම් ලමින් බිම නිදන හිවලාට වූ දෙය ම වන්නේ ය.
(23) වැඩුණු කය ඇත්තා වූ මහත් බල ඇත්තා වූ ඉසුරුමත් වූ උත්තම සත්ත්වයකු වූ සිංහයා ගේ බලය හා ජාතිය නො හැඳින තමා ද සිංහයා හා සමය යි සිතා සිංහයා මෙන් ඇතාට පැන ඇතා විසින් පාගා දමනු ලැබ ඒ හිවලා මළ නින්දෙන් නිදන්නේ ය.
24. යො චීධකම්මං කුරුතෙ පමාය
ථාමබලං අත්තනි සංවිදිත්වා,
ජප්පෙන මන්තෙන සුභාසිතෙන
පරික්ඛ වා සො විපුලං ජිනාති.
(4 නි. ජම්බුක ජා.)
25. යො දන්ධ කාලෙ තරති තරණියෙ ච දන්ධති,
සුක්ඛ පණ්ණං‘ ව අක්කම්ම අත්ථං භඤ්ජති අත්තනො.
26. යො දන්ධ කාලෙ දන්ධෙති තරණියෙ ච තාරයි,
සසී‘ව රත්තිං විභජං තස්සත්ථො පරිපූරති.
(4 නි. ගජකුම්භ ජා.)
(24) මේ ලෝකයෙහි යමෙක් තමා කෙරෙහි ඇති කායබලය හා ඥානබලය තේරුම් ගෙන එය මැන බලා උගත් කමින් ද නුවණැතියන් හා මන්ත්‍රණය කිරීමෙන් ද යහපත් වචනයෙන් ද වැඩ කෙරේ නම් හෙ තෙමේ මහත් වූ අර්ථය ලබන්නේ ය.
(25) යමෙක් කළ යුත්ත සෙමින් කළ යුතු තැන දී ඉක්මනින් කෙරේ ද, කළ යුත්ත ඉක්මනින් කළ යුතු තැන දී සෙමින් කෙරේ ද, හෙ තෙමේ වියළි කොළ පාගා පොඩි කරන්නාක් මෙන් තමා ගේ අර්ථය පොඩි කරන්නේ ය. (නසා ගන්නේ ය)
(26) යමෙක් කළ යුත්ත ඉක්මන් කළ යුතු තැනදී ඉක්මන් කෙරේ ද, සෙමින් කළ යුතු තැනදී සෙමින් කෙරේ ද, රාත්‍රි විභාගය කරමින් චන්ද්‍රයා අනුක්‍රමයෙන් සෙමින් වැඩෙන්නාක් මෙන් ඔහු ගේ අර්ථය සම්පූර්ණ වේ.
27. වාළොදකං අප්පරසං නිහීනං
ජිත්වා මදො ජායති ගද්‍රභානං,
ඉමඤ්ච පිත්වාන රසං පණීතං
මදො න සඤ්ජායති සින්ධවානං.
28. අප්පං පිවිත්වාන නිහීන ජච්චො
සො මජ්ජති තෙන ජනින්ද ඵුට්ඨො,
ධොරය්හසිලීව කුලම්හි ජාතො
න මජ්ජති අග්ගරසං පිවිත්වා.
(2 නි. වාලොදක ජා.)
29. සබ්බ කාම දදං කුම්භං කූටං ලද්ධාන ධුත්තකො,
යාව සො අනුපාලෙති තාව සො සුඛ මෙධති.
(27) රසය අල්ප වූ එහෙයින් ම හීන වූ මුද්‍රප්පලම් රොඩු මැඩ පෙරා ගත් ජලය පානය කිරීමෙන් කොටළුවන්ට මදය හට ගනී. මේ ප්‍රණීත රසය පානය කොට ද සෛන්ධවයන්ට මතක් නො හටගනී. (ඊට කරුණු කිමෙක් ද?)
(28) ජනේන්ද්‍රය, හීන ජාති ඇති තැනැත්තේ ඒ හීන ජාතිය ඇති වන බව නිසා ම සුළු දෙයින් වුව ද මත් වේ. බර උසුලන ස්වභාවය ඇත්තා වූ උසස් කුලයේ උපන්නා වූ සෛන්ධව තෙමේ අග්‍ර රසය පානය කොට ද මත් නො වේ. (වාළොදක ජාතකය බලනු)
(29) ධූර්‍තයා කැමති වන සියල්ල දෙන සැළියක් ලබා එය යම් තාක් ආරක්ෂා කෙරේ ද, එතෙක් හේ සැප ලබා.
30. යදා මත්තො ච දිත්තො ච පමාදා කුම්භමබ්භිදා,
තතො නග්ගො ච පොත්ථො ච පච්ඡා බාලො විහඤ්ඤති.
31. එව මෙව යො ධනං ලද්ධා අමත්තා පරිභුඤ්ජති,
පච්ඡා තප්පති දුම්මේධො කූටං භින්නො‘ ව ධුත්තකො.
(3 නි. භද්‍රගට ජා.)
32. අනුපායෙන යො අත්තං ඉච්ඡති සො විභඤ්ඤති,
චෙතා භනිංසු වෙදබ්භං සබ්බෙ තෙ ව්‍යසන මජ්ඣගු.
(1 නි. වෙදබ්භ ජා.)
(30) ධූර්‍තයා යම් කලෙක සුරාවෙන් මත් වූයේ දර්පයෙන් දැපුනේ ප්‍රමාදයෙන් සැළිය බිඳගත්තේ ද, ඉන්පසු ඒ බාලයා විටෙක නග්න වූයේ ද, විටෙක දළ රෙදි කඩක් ඇත්තේ ද වී දුකින් පෙළේ.
(31) එපරිද්දෙන් ම යමෙක් ධනය ලබා එය පමණ ඉක්මවා පරිභෝග කෙරේ ද, හෙවත් වියදම් කෙරේ ද, ඒ බාලය සැළිය බිඳගත් ධූර්‍තයා මෙන් පසු තැවෙන්නේය.
(32) යමෙක් අනුපායයෙන් දියුණුව හෝ ධනය ලබනු කැමති වේ ද හෙතෙමේ එයින් පීඩාවට හෝ විනාශයට පැමිණේ. චේතිය රට වැසි සොරු මන්ත්‍රබලයෙන් රුවන් වැසි වස්වන්ට දත් වේදබ්භ නම් බ්‍රාහ්මණයා මැරූහ. බමුණා වැස් වූ ධනය නිසා ඔවුන් සැම දෙන ම විනාශ වූහ.
33. මඤ්ඤෙ සොවණ්ණයො රාසී සොවණ්ණ මාලා ච නන්දකො,
යත්ථ දාසො ආමජාතො ඨිතො ථුල්ලානි ගජ්ජති.
(1 නි. නන්ද ජා.)
34. අමනුස්ස ඨානෙ උදකං‘ ව සීතං
තදපෙය්‍යමානං පරිසොසමෙති,
එවං ධනං කාපුරිසො ලභිත්වා
නෙවත්තනා භුඤ්ජති නො දදාති.
35. ධීරොච විඤ්ඤු අධිගම්ම භොගෙ
සො භුඤ්ජති කිච්ච කරො ද හොති,
සො ඤාතිසඞ්ඝං නිසභො හරිත්වා
අනින්දිතො සග්ගමුපෙති ඨානං.
(කෝසල සංයුත්ත)
මෙය නිධානය උඩට පැමිණෙන විට උඩඟු වී ස්වාමියාට සැර කරන්නට පටන් ගත්තා වූ දාසයකු නිමිත්ත කොට බෝසතාණන් වහන්සේ විසින් කියන ලද්දකි.
(33) දාසියගේ පුත්‍ර වූ නන්දක නම් දාසයා යම් තැනක සිට පරුෂ වචනයෙන් ගොරවා ද එ තැන ඔබට අයත් රුවන් රැස හා රන් මාලය ඇති තැනය යි සිතමි. (නන්ද ජාතකය බලනු)
(34) අමනුෂ්‍යයා විසින් අරක් ගත් තැන සිහිල් දියක් ඇති නම් එය කිසිවකු විසින් නො බොනු ලැබ වියළී යේ. එමෙන් අසත්පුරුෂයා විසින් ධනය ලබා තෙමේ ද පරිභෝග නො කෙරෙයි. අන්‍යයන්ට ද නො දෙයි.
(35) ධෛර්‍ය්‍යවත් වූ නුවණැත්තා වූ තැනැත්තා ධනය ලබා තෙමේ ද ඒ ධනය වළඳයි. දන් දීම් ආදී කළ යුතු වැඩ ද කෙරෙයි. ශ්‍රේෂ්ඨ වූ හෙ තෙමේ නෑ සමූහයා ද පෝෂණය කොට අනින්දිත වූයේ මරණින් මතු ස්වර්‍ගයට ද යේ.
36. සකුණො මය්හකො නාම ගිරි සානු දරී චරො,
පක්කං පිප්ඵලි මාරුය්හ මය්හ මය්හාති කන්දති.
37. තස්සෙවං විලපන්තස්ස දීජසඞ්ඝා සමාගතා,
භුත්වාන පිප්ඵලිං යන්ති විලපත්වෙව සො දිජො.
38. එවමෙව ඉධෙ කච්චො සඞ්ඝරිත්වා බහුං ධනං
නෙවත්තනො න ඤාතීනං යථොධිං පටිපජ්ජති.
39. න සො අච්ඡාදනං භත්ථං න මාලං න විලෙපනං,
අනුභොති සකිං කිඤ්චි න සඞ්ගණ්හාති ඤාතකෙ.
40. තස්සෙවං විලපන්තස්ස මය්හ මය්හාති රක්ඛතො,
රාජානො අථ වා චොරා දායාදා යෙ ච අප්පියා
ධනමාදාය ගච්ඡන්ති විලපත්වෙ ව සො නරො.
(36) කඳු පල්ලම් කඳුරැලි වල හැසිරෙන්නා වූ මය්හක නම් පක්‍ෂියා ගෙඩි ඉදුණු පුලිල ගසට නැඟ මගේ මගේ ය යි හඬා-
(37) ඌ එසේ හඬද්දී ම පක්‍ෂි සමූහයා අවුත් පුලිල කා යෙති. ඒ පක්‍ෂියා හඬාම ය.
(38) එපරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතමෙක් බොහෝ ධනය රැස් කොට තමා ගේ ප්‍රයෝජනයට ද නො ගනී. ඤාත්‍යාදීන්ට දිය යුතු සැටියට ද නො දෙයි.
(39) හෙතෙමේ වස්ත්‍ර ද ආහාර ද මල් ද විලවුන් ද රිසි සේ එක් වරකුදු අනුභව නො කෙරේ. කිසි නෑයකුට ද සංග්‍රහ නො කරයි.
(40) ඒ තැනැත්තා මගේ මගේ ය යි කෑගසද්දී ම රක්ෂා කරද්දී ම රජවරු හෝ සොරු හෝ අප්‍රිය වූ උරුමක්කාරයෝ හෝ ඔහු ගේ ධනය ගෙන යති.
41. ධීරො ච භොගෙ අධිගම්ම සඞ්ගණ්හාති ච ඤාතකෙ,
තෙන සො කිත්තිං පප්පොති පෙච්චසග්ගෙ ච මොදති.
(6 නි. මය්හක ජා.)
42. සද්ධා ධනං සීල ධනං හිරි ඔත්තප්පියං ධනං,
සුත ධනඤ්ච චාගො ච පඤ්ඤා මෙ සත්තමං ධනං.
43. යස්ස එතෙ ධනා අත්ථි ඉත්ථියා පුරිසස්ස වා
අදලිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං.
(7 නි. අංගුත්තර)
44. යත්ථ වෙරී නිවසති න වසෙ තත්ථ පණ්ඩිතො,
එකරත්තං ද්විරත්තං වා දුක්ඛං වසති වෙරිසු.
(1 නි. වෙරි ජා.)
(41) නුවණැත්තේ ධනය ලබා නෑයන්ට ද සංග්‍රහ කෙරෙයි. එයින් හේ කීර්තියට ද පත් වෙයි. මරණින් මතු ස්වර්ගයේ ද සතුටු වෙයි.
(42-43) ශ්‍රද්ධා ධනය ය, ශීල ධනය ය, හිරි ධනය ය, අපත්‍රපා ධනය ය, ශ්‍රැත ධනය ය, ත්‍යාග ධනය ය, සත් වැනි වූ ප්‍රඥා ධනය ය යන මේ සත යම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ඇත්තේ නම් හේ නො දිළින්දෙකැ යි ආර්‍ය්‍යයෝ කීහු. ඔහු ගේ ජීවිතය නො හිස් ය.
(44) යම් තැනක සතුරා නිතර වෙසේ නම් නුවණැත්තේ එහි නො වසන්නේ ය. එක් රැයක් දෙ රැයක් වුව ද සතුරා වසන තැන විසීම දුකෙකි.
45. අමානනා යත්ථ සියා සන්තානං වා විමානතා,
හීන සංමානනා වා පි න තත්ථ වසතිං වසෙ.
46. යත්ථාලසො ච දක්ඛො ච සූරො භීරූ ච පූජියා
න තත්ථ සන්තො නිවසන්ති අවිසෙසකරෙ නරෙ.
(6 නි. නේරු ජා.)
47. ජනිත්තං මෙ භවිත්තං මෙ ඉති පඞ්කෙ අවස්සයිං,
තං මං පඞ්කො අජ්ඣ භවි යථා දුබ්බලකං තථා.
48. තං තං වදාමි භග්ගව සුණොහි වචනං මම,
ගාමෙ වා යදි වා රඤ්ඤෙ සුඛං යත්‍රාධි ගච්ඡති.
(45) යම් තැනක සත්පුරුෂයන්ට නො සැලකීම හා අවමන් කිරීම හෝ ඇත්තේ ද හීනයන්ට හෙවත් දුශ්ශීලයන්ට සම්මාන කිරීම හෝ ඇත්තේ ද එ තැන වාසය නො කරන්නේ ය.
(46) යම් තැනක අලසයා ද, දක්‍ෂයා ද, ශූරයා ද, බියසුල්ලා ද යන සෑම දෙන ම පුදනු ලබත් නම්, විශේෂයක් නො කරන මිනිසුන් වෙසෙන එ තැන සත්පුරුෂයෝ නො වෙසෙති.
මේ ගාථා තුන උපන් තැනට ඇති ආලය නිසා එය හැර යනු නො කැමති ව දිය සිඳුනු පසු ද, ඒ විලේ ම මඩට යට වී සිට මැටිගන්නට ගිය කුඹලකු ගේ උදලු පහරින් කැපී උදලු තලයේ ඇවිනී මතු වුණු ඉදිබුවකුගේ විලාප ය ය.
(47) මෙය මා උපන් තැන ය. මෙය මා වැඩුණු තැන ය යි මම මේ විල නො හැර මඩෙහි ම විසූයෙමි. විලෙහි මඩ දුබල වූ මා යට කොට විනාශ කෙළේ ය.
(48) කුම්භකාරය, එ හෙයින් මම ඔබට කියමි. මාගේ කීම අසන්න. ගමෙහි හෝ වේවා වලෙහි හෝ වේවා යමකුට යම් තැනක සැප ලැබේ ද -
49. තං ජනිත්තං භවිත්තඤ්ච පුරිසස්ස පජානතො,
යම්හි ජීවෙ තම්හි චජෙ න නිකෙත හතො සියා.
(2නි. කච්ඡප ජා.)
50. සකා රට්ඨා පබ්බජිතො අඤ්ඤං ජනපදං ගතො,
මහන්තං කොට්ඨං කයිරාථ දුරුත්තානං නිධෙතවෙ.
51. යත්ථ පොසං න ජානන්ති ජාතියා විනයෙන වා,
න තත්ථ මානං කයිරාථ වසමඤ්ඤාතකෙ ජනෙ.
52. විදෙස වාසං වසතා ජාතවෙද සමෙන‘ පි,
ඛමිතබ්බං සපඤ්ඤෙන අපි දාසස්ස තජ්ජිතං.
(4 නි. දද්දර ජා.)
(49) එය නුවණැත්තා වූ තැනැත්තා හට උපන් තැන ද වේ. වැඩුණු තැන ද වේ. උපන් ගෙට ඇලුම් කොට එය නො හැර ම සිට උපන් ගෙයින් ම නසනු ලැබුවෙක් නො වන්නේ ය.
(50) සිය රටින් නෙරපනු ලැබ අන් ජනපදයකට ගිය තැනැත්තා විසින් තමාට බණින බැනුම් රැස් කර තබනු පිණිස වී දැමීමට කොටුවක් තනන්නාක් මෙන් තමා ගේ හෘදයෙහි මහත් වූ කොටුවක් තනා ගන්නේ ය.
(51) යම් තැනක මිනිසා ජාතියෙන් හා විනයයෙන් නො හඳුනත් ද නො හඳුනන්නවුන් අතර වාසය කරන තැනැත්තේ එහිදී මානය නො කරන්නේ ය. (උසස් කම සිතට නො ගන්නේ ය.)
(52) විදේශයේ වාසය කරන නුවණැත්තා විසින් කුලගෝත්‍රාදියෙන් ගිනිකඳක් මෙන් පිරිසිදු වූවකු වුව ද තමා ගේ උසස් කම් සිතට නො ගෙන දාසයකු ගේ තර්ජනය වුව ද ඉවසිය යුතු ය.
53. සෙනො බලසා පතමානො ලාප ගොචර ඨායිනං,
සහසා අජ්ඣප්පත්තො මරණං තෙනුපාගමි.
54. සොහං නයෙන සම්පන්නො පෙත්තිකෙ ගොචරෙ රතො,
අපෙත සත්තු මොදාමි සම්පස්සං අත්ථමත්තනො.
(2 නි. සකුණග්ඝි ජා.)
55. රුදං මනුඤ්ඤං රුචිරා ච පිට්ඨි
වෙළුරිය වණ්ණු පනිභා ච ගීවා,
ව්‍යාම මත්තානි ච පෙඛුණානි
නිච්චෙන තෙ ධීතරං නො දදාමි.
(1 නි. නච්ච ජා.)
(53) වේගයෙන් ඉගිලෙන්නා වූ උකුස්සා ස්වකීය ස්ථානය වූ මැටිකැට අතර සිටින කැටකිරිල්ල ගසා ගැනීමට වහා ගියේ ය. එයින් ඌ මැටි කැට වල සැපී මළේ ය.
මෙය මළ උකුස්සා පිට නැගී කැටකිරිල්ල විසින් කියන ලද ප්‍රීති වාක්‍යය යි.
(54) උපායයෙන් යුක්ත වූ පියපරපුරෙන් ආ ගෝචරයෙහි ඇලුණා වූ ඒ මම තමාගේ අර්‍ථය දකිමින් පහව ගිය සතුරන් ඇත්තේ වෙමි.
මෙය හංසාරාජයාගේ දුව ලැබෙන්නට යාම ගැන සතුටු වී නැටූ මොනරා ගැන හංසරාජයා විසින් කියන ලද්දකි.
(55) නුඹේ හඬ මිහිරි ය, පිටත් ලස්සන ය, ගෙල ද වෙරළු මිණි පැහැය ඇත්තේ ය, නුඹේ පිල් ද බඹයක් පමණ වන්නේ ය. එහෙත් නැටුම නිසා මා ගේ දුව නුඹට නො දෙමි.
56. ධමෙ ධමෙ නාතිධමෙ අති ධන්තං හි පාපකං,
ධන්තෙන හි සතං ලද්ධං අතිධන්තෙන නාසිතං.
(1 නි. භේරිවාද ජා.)
57. අතිකර මකරා චරිය මය්හපෙතං න රුච්චති,
චතුත්ථෙ ලඞ්ඝයිත්වාන පඤ්චමියස්මිං ආවුතො.
(1 දුබ්බච ජා.)
58. සාධුකො පණ්ඩිතො නාම නත්වෙව අතිපණ්ඩිතො,
අතිපණ්ඩිතෙන පුත්තෙන මනම්හි උපකූලිතො.
(1 නි. කූටවානිජ ජා.)
(56) ගසනු ගසනු. වැඩි පද නො ගසනු. වැඩි පද ගැසීම නපුරෙකි. බෙර ගැසීමෙන් සියයක් ලද්දේ ය. එය වැඩි පද ගැසීමෙන් නැති කර ගත්තේ ය.
මෙය හුල් හතරකින් පිනුම් පැනීමට දත් කෙනකු විසින් වැඩි හුල් සිටවා පිනුම් පැනීම ගැන බෝසතාණන් විසින් කියන ලද්දකි.
(57) ඇදුර, ඔබ වැඩි කැරුම් කරන්නෙහි ය. එය මට නම් අරුචි ය. වැඩි කැරුම් කරන්නට ගොස් සතර වන හුලින් පැන පස්වන හුලෙහි ඇවිණියෙහි ය.
මෙය අති පණ්ඩිතයා ගේ මෝඩ කම නිසා බාගයට දැවුණු ඔහු ගේ පියා විසින් කියන ලද්දකි.
(58) පණ්ඩිතයා නම් හොඳ ය. එහෙත් අති පණ්ඩිතයා හොඳ නැත. අති පණ්ඩිත පුත්‍රයා නිසා මම බාගයට දැවුනෙම් වෙමි.
59. යො චෙ කාලෙ අසම්පත්තෙ අතිවෙලං පභාසති,
එවං සො නිහතො සෙති කොකිලායී‘ ව අත්‍රජො.
60. නහි සත්ථං සුනිසිතං විසං හලාහලම්මි‘ ව,
එවං නිකට්ඨෙ පාතෙති වාචා දුබ්භාසිතා යථා.
61. තස්මා කාලෙ අකාලෙ ච වාචං රක්ඛෙය්‍ය පණ්ඩිතො,
නාතිවෙලං පභාසෙය්‍ය අපි අත්තසමම්හි වා.
62. යො ච කාලෙ මිතං භාසෙ මති පුබ්බො විචක්ඛණො,
සබ්බෙ අමිත්තෙ තරති සුපණ්ණො උරගම්මි‘ ව.
(4 නි. කෝකාලික ජා.)
(59) යමෙක් කථා කිරීමේ කාලය නො පැමිණෙත් ම පමණ ඉක්මවා කථා කෙරේ ද, හෙ තෙමේ කට නිසා කැවිඩිය විසින් කොටා බිම හෙළන ලද කොවුල් පැටවා මෙන් නසන ලදුව සයනය කෙරේ.
(60) නො මනා වචනය හලාහල විෂයක් මෙන් යම් සේ එකෙණෙහි ම මිනිසා හෙළා ද මනා කොට මුවහත් කරන ලද පිහිය එ පමණ ඉක්මනින් මිනිසා නො නසා.
(61) එ බැවින් නුවණැත්තේ කාලයෙහි ද අකාලයෙහි ද වචනය රක්නේ ය. තමා හා සම වූවකු සමග වුව ද පමණ ඉක්මවා කථා නො කරන්නේ ය.
(62) නුවණ පෙරටු කොට කථා කරන්නා වූ යම් නුවණැතියෙක් සුදුසු කල්හි ප්‍රමාණයෙන් යුක්ත කොට කථා කෙරේ ද හෙ තෙමේ ගුරුළා සර්පයන් ස්වවශයට ගන්නාක් මෙන් සියලු සතුරන් ස්වවශයට ගන්නේ ය.
63. පුරිසස්ස හි ජාතස්ස කුඨාරි ජායතෙ මුඛෙ,
යාය ජින්දති අත්තානං බාලො දුබ්භාසිතං භණං.
64. යො නින්දියං පසංසති
තං වා නින්දති යො පසංසියො
විචිනාති මුඛෙන සො කලිං
කලිනා තෙන සුඛං න වින්දති.
(බ්‍රහ්ම සංයුත්ත)
65. සුභාසිතං උත්තමමාහු සන්තො
ධම්මං භණෙ නාධම්මං තං දුතියං
පියං භණෙ නාප්පියං තං තතියං
සච්චං භණෙ නාලිකං තං චතුත්ථං.
(63) උපන් මිනිසා ගේ මුවෙහි කෙටේරියක් ද පහළ වන්නේ ය. අඥයා නො මනා වචන කියන්නේ එයින් තමා සිඳ ගන්නේ ය.
(64) යමෙක් නින්දා කළ යුතු තැනැත්තාට ප්‍රශංසා කෙරේ ද, ප්‍රශංසා කළ යුත්තාට නින්දා කෙරේ ද හෙ තෙමේ කටින් පව් රැස් කෙරෙයි. ඒ පව නිසා හේ සැප නො ලබයි.
(65) හොඳ කථාව උතුමැයි සත්පුරුෂයෝ කීහ. ධර්මය ම කියන්නේ ය. අධර්මය නො කියන්නේ ය. ඒ ධර්මයක් ම කියන බව හොඳ කතාවේ දෙවන අංගය යි. ප්‍රිය දෙයක් ම කියන්නේ ය. අප්‍රිය දෙයක් නො කියන්නේ ය. ඒ ප්‍රිය දෙයක් ම කියන බව හොඳ කතාවේ තුන් වන අංගය යි. සත්‍යයක් ම කියන්නේ ය. අසත්‍යය නො කියන්නේ ය. ඒ සත්‍යය ම කියන බව හොඳ කතාවේ සතර වන අංගය යි.
66. තමෙව වාචං භාසෙය්‍ය යායත්තානං න තාපයෙ,
පරෙ ච න විහිංසෙය්‍ය සා වෙ වාචා සුභාසිතා.
(වංගීස සංයුත්ත)
67. කල්‍යාණිමෙව මුඤ්චෙය්‍ය නහි මුඤ්චෙය්‍ය පාපිකං,
මොක්ඛො කල්‍යාණියා සාධු මුත්වා තපති පාපිකං.
(1 නි. සාරම්භ ජා.)
68. යෙ කෙචි මෙ අත්ථි රසා පථව්‍යා
සච්චං තෙසං සාදුතරං රසානං,
සච්චෙ ඨිතා සමණ බ්‍රාහ්මණා ච
තරන්ති ජාති මරණස්ස පාරං.
(80 නි. මහා සුතසෝම ජා.)
69. සච්චං වෙ අමතා වචා එස ධම්මො සනන්තනො,
සච්චෙ අත්ථෙ ච ධම්මෙ ච ආහු සන්තො පතිට්ඨිතා.
(වංගීස සංයුත්ත)
(66) යම් වචනයකින් තමා නො තවා ද, අනුන්ට ද හිංසාවක් නො කෙරේ ද, ඒ වචනය ම කියන්නේ ය. ඒකාන්තයෙන් ඒ වචනය යහපත් වචනය ය.
(67) හොඳ කතාවක් ම කටින් පිට කරන්නේ ය. නො මනා කථාවක් කටින් පිට නො කරන්නේ ය. යහපත් කතාවක් කටින් පිට කිරීම යහපති. නො මනා කථා පිට කර තැවෙන්නේ ය.
(68) පොළොවෙහි යම් රස ජාතියක් ඇත් ද ඒ රසයන් අතුරෙන් සත්‍යය ඉතා උතුම් රසය ය. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්‍යයෙහි පිහිටියාහු ඉපදීම මැරීම ඇති සංසාරයාගේ පරතෙරට යෙති.
(69) සත්‍යය ඒකාන්තයෙන් අමෘතය වැනි වචනයෙකි. ඒ සත්‍යය පෞරාණික ධර්මයකි. සත් පුරුෂයෝ සත්‍යයෙහි ද අර්ථයෙහි ද ධර්මයෙහි ද පිහිටියාහුය යි කීහු.
70. යං හි කයිරා තං හි වදෙ යං න කයිරා න තං වදෙ,
අකරොන්තං භාසමානං පරිජානන්ති පණ්ඩිතා.
(4 නි. සුවජ්ජ ජා.)
71. යො වෙ දස්සන්ති වත්වාන අදානෙ කුරුතෙ මනො,
භූම්‍යා සො පතිතං පාසං ගීවාය පටිමුඤ්චති.
72. යො වෙ දස්සන්ති වත්වාන අදානෙ කුරුතෙ මනො,
පාපා පාපතරො හොති සම්පත්තො යමසාධනං.
(20 නි. සිවි ජා.)
73. අළිකං භාසමානස්ස අපක්කමන්ති දෙවතා
පූතිකඤ්ච මුඛං වාති සකට්ඨානා ච ධංසති
යො ජානං පුච්ඡිතො පඤ්හං අඤ්ඤථා නං වියාකරෙ.
(70) යමක් කෙරේ නම් එය “කරමි” කියන්නේ ය, යමක් නො කෙරේ නම් එය “කරමි” යි නො කියන්නේ ය. නො කරන දෙය කරමි යි කියන තැනැත්තා මුසාවාදියකු බව පණ්ඩිතයෝ දනිති.
(71) යමෙක් කෙනකුට යමක් දෙමි යි කියා පසුව නො දීමට සිතා ද, හේ බිම වැටුණු තොණ්ඩුව ගෙන බෙල්ලේ ලා ගනී.
(72) යමෙක් යමකුට යමක් දෙමි ය කියා නැවත නො දෙන්නට සිතා නම් හේ පාපයින් ගෙනුත් පාපයෙක් වේ. යම රජු ගේ අණසක පවත්නා තැනට පැමිණියෙක් වේ.
(73) යමෙක් ප්‍රශ්න විචාරන ලද්දේ දැන දැන ම එය අන් ආකාරයකින් විසඳා ද, හෙවත් අසන ප්‍රශ්නයට බොරු පිළිතුරු දේ ද, ඒ බොරු කියන්නහු ගේ ආරක්ෂක දේවතාවෝ ඔහු හැර යෙති. ඔහු ගේ මුඛයෙන් ද කුණුගඳ හමා. හේ ස්වකීය ස්ථානයෙන් ද පහ වේ.
74. අකාලෙ වස්සති තස්ස කාලෙ තස්ස න වස්සති,
යො ජානං පුච්ඡිතො පඤ්හං අඤ්ඤථා නං වියාකරෙ.
75. ජිව්හා තස්ස ද්විධා හොති උරගස්සෙ‘ ව දිසම්පති
යො ජානං පුච්ඡිතො පඤ්හං අඤ්ඤථා නං වියාකරෙ.
76. ජිව්හා තස්ස න භවති මච්ඡස්සෙ‘ ව දිසම්පති,
යො ජානං පුච්ඡිතො පඤ්හං අඤ්ඤථා නං වියාකරෙ.
77. ථියො‘ ව තස්ස ජායන්ති න පුමා ජායරෙ කුලෙ,
යො ජානං පුච්ඡිතො පඤ්හං අඤ්ඤථා නං විකාකරෙ.
78. පුත්තා තස්ස න භවන්ති පක්කමන්ති දිසො දිසං,
යො ජානං පුච්ඡිතො පඤ්හං අඤ්ඤථා නං වියාකරෙ.
(8 නි. චෙතිය ජා.)
(74) යමෙක් ප්‍රශ්නයක් අසනු ලදුයේ දැන දැන ම එයට බොරු පිළිතුරු දේ ද, ඔහු ගේ රාජ්‍යයට නො කල්හි වැසි වසී. කාලයෙහි නො වසී.
(75) රජ, යමෙක් ප්‍රශ්නයක් අසන ලද්දේ දැන දැන ම එයට බොරු පිළිතුරු දේ ද, ඔහුට සර්පයකුට මෙන් දෙදිවක් ඇති වෙයි.
(76) රජ, යමෙක් ප්‍රශ්නයක් අසන ලද්දේ දැන දැන ම එයට බොරු පිළිතුරු දේ ද, මත්ස්‍යයකුට මෙන් ඔහුට දිව නැති වන්නේ ය.
(77) යමෙක් ප්‍රශ්නයක් අසන ලද්දේ දැන දැනම එයට බොරු පිළිතුරු දේ ද, ඔහු ගේ පවුලෙහි ස්ත්‍රීහු ම උපදිති. පුරුෂයෝ නූපදිති.
(78) යමෙක් ප්‍රශ්නයක් අසන ලද්දේ දැන දැන ම එයට බොරු පිළිතුරු දේ ද, ඔහු වෙත පුත්‍රයෝ නො සිටිති. ඔහු ගේ පුත්‍රයෝ දිශාවෙන් දිශාවට යෙති.
79. එකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනො,
විතිණ්ණ පරලොකස්ස නත්ථි පාපං අකාරියං.
(ධ. ලෝක වග්ග)
80. කස්සච්චයා න විජ්ජන්ති කස්ස නත්ථි අපාගතං,
කො න සම්මොහමාපාදි කො වා ධීරො සදා සතො.
81. තථාගතස්ස බුද්ධස්ස සබ්බ භූතානුකම්පිනො,
තස්සච්චයා න විජ්ජන්ති තස්ස නත්ථි අපාගතං,
සො න සම්මොහමාපාදි සොධ ධීරො සදා සතො.
(දේවතා සංයුත්ත)
(79) පරලොව ගැන බලාපොරොත්තු හළ එක ධර්මයක් වූ සත්‍ය ඉක්ම වූ බොරු කියන්නා වූ සත්ත්වයා හට නො කළ හැකි පවක් නැත.
(80) කවරකු ගේ වරද නැත්තේ ද? කවරකු ගේ අපරාධ නැත්තේ ද? කවරෙක් මුළාවට නො පැමිණේ ද? කවර නුවණැතියෙක් සැම කල්හි සිහියෙන් යුත්ත වේ ද?
(81) සකල සත්ත්වයන්ට අනුකම්පා කරන්නා වූ සියල්ල අවබෝධ කළා වූ ඒ තථාගතයන් වහන්සේ ගේ වරද නැත. අපරාධ නැත. උන් වහන්සේ කිසිවිටෙක මුළාවට නො පැමිණි සේක. මේ ලෝකයෙහි ඒ තථාගතයන් වහන්සේ සැම කල්හි සිහියෙන් යුක්ත වන සේක.
82. අනඞ්ගණස්ස පොසස්ස නිච්චං සුචි ගවෙසිනො,
වාළග්ග මත්තං පාපස්ස අබ්භාමත්තං‘ ව ඛායති.
(6 නි. භිසපුප්ඵ ජා.)
83. සුදස්සං වජ්ජං අඤ්ඤෙසං අත්තනො පන දුද්දසං,
පරෙසං හි සො වජ්ජානි ඔපුණාති යථා භුසං
අත්තනො පන ඡාදෙති කලිං ව කිතවා සඨො.
(ධ. මල වග්ග)
84. පරවජ්ජානු පස්සිස්ස නිච්චං උජ්ඣාන සඤ්ඤිනො,
ආසවා තස්ස වඩ්ඪන්ති ආරා සො ආසවක්ඛයා
(ධ. මල වග්ග)
(82) නිතර වරදින් පිරිසිදු බව සොයන්නා වූ දොස් නැත්තා වූ තැනැත්තා ගේ අස්කෙඳි අගක් පමණ වූ කුඩා වරද ලෝකයාට මහ වළාකුලක් පමණට මහත් ව පෙනේ.
(83) කුඩා වූ ද අනුන්ගේ වරද ලෙහෙසියෙන් දකී. මහත් වූ ද තමා ගේ වරද දක්නට දුෂ්කර ය. අනුන්ගේ වරද දක්නා වූ හෙතෙමේ උස් තැනක තබා බොල් පොළන්නාක් මෙන් අනුන්ගේ වරද පොළයි. හෙවත් මතු කොට දක්වයි. කෛරාටික ලිහිණිවැද්දා කොළ අතු වලින් තමා ගේ ශරීරය වසන්නාක් මෙන් තමා ගේ වරද වසා ගනී.
අනුන්ගේ වරද සොයන්නාට කෙලෙස් වැඩෙන බව.
(84) අනුන්ගේ වරද බලන්නා වූ නිතරම අනුන්ට ගර්හා කිරීමේ අදහස ඇත්තා වූ ඒ පුද්ගලයා හට කාමාදි ආශ්‍රවයෝ වැඩෙති. හේ ආශ්‍රවක්‍ෂය ය යි කියනු ලබන අර්හත් ඵලයෙන් දුර ය.
85. න පරෙසං විලොමානි න පරෙසං කතා කතං,
අත්තනො‘ ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච.
(ධ. පුප්ඵ වග්ග)
86. කොධං වධිත්වා න කදාවි සොචති
මක්ඛප්පහාණං ඉසයො වණ්ණයන්ති,
සබ්බෙසං වුත්තං ඵරුසං ඛමෙථ
එතං ඛන්තිං උත්තමමාහු සන්තො.
87. භයා හි සෙට්ඨස්ස වචො ඛමෙථ
සාරම්භ හෙතු පන සාදිසස්ස,
යො චීධ හීනස්ස වචො ඛමෙථ
එතං ඛන්තිං උත්තමමාහු සන්තො.
(85) අනුන් ගේ ඇනුම් බැනුම් මෙනෙහි නො කළ යුතුය. අනුන් කළ නො කළ දේවල් ගැන නො සිතිය යුතුය. තමාගේ ම කළ නො කළ දේ ගැන කල්පනා කළ යුතුය.
(86) ක්‍රෝධය නසා කිසිකලෙක ශෝක නො කෙරේ. අකෘතඥභාවය යි කියන ලද අනුන් කළ ගුණ නැති කර දමන ස්වභාවය දුරු කිරීම සෘෂීහු වර්ණනා කෙරෙති. හැම දෙනා විසින් ම කියන පරුෂ වචන ඉවසවු. ඒ ක්ෂාන්තිය උත්තමය යි සත්පුරුෂයෝ කීහ.
(87) බිය නිසා උසස් තැනැත්තා ගේ කීම ඉවසන්නේ ය. සාරම්භය නිසා (පළිගැනීම නිසා) සමාන තැනැත්තාගේ කීම ඉවසන්නේ ය. මේ ලෝකයෙහි යමෙක් තමාට වඩා හීනයා ගේ කීම ඉවසා නම් එය උතුම් ඉවසීම ය යි ප්‍රාඥයෝ කීහු.
88. කථං විජඤ්ඤා චතුමට්ඨ රූපං
සෙට්ඨං සරික්ඛං අථවාපි හීනං,
විරූප රූපෙන චරන්ති සන්තො
තස්මා හි සබ්බෙස වචො ඛමෙථ.
89. න හෙතමත්ථං මහතී‘ පි සෙනා
සරාජිකා යුජ්ඣමානා ලභෙථ,
යං ඛන්තිමා සප්පුරිසො ලභෙථ
ඛන්ති බලස්සූපසම්මන්ති වෙරා.
(40 නි. සරභඞ්ග ජා.)
90. භයානුමථවා සක්ක දුබ්බල්‍යානො තිතික්ඛසි,
සුණන්තො ඵරුසං වාචං සම්මුඛා වෙපචිත්තිනො’ ති.
(88) සතර ඉරියව්වෙන් වැසී සිටින ස්වභාවය ඇති ශ්‍රේෂ්ඨයා ය, සමානයා ය, හීනයා ය යන තිදෙන කෙසේ වෙන් කොට දත හැක්කේ ද? නො හැකිය. හීනයන්ගේ ආකාරයෙන් උත්තමයෝ ද හැසිරෙති. එ බැවින් හැම දෙනාගේ ම කීම් ඉවසන්නේ ය.
(89) ඉවසීම ඇති සත්පුරුෂයා සතුරන් නැති කර ගැනීම නමැති යම් අර්ථයක් ලබා ද, රජ සහිතව යුද කරන්නා වූ සේනාවක් ඒ අර්ථය නො ලබා, ක්‍ෂාන්ති බලය ඇත්තහුට වෛරයෝ සන්සිඳෙති.
මෙය ශක්‍රදේවේන්ද්‍රයා හා මාතලී දිව්‍යපුත්‍රයාත් අතර ඇති වූ කථාවෙකි.
මාතලී :
(90) ශක්‍රදේවේන්ද්‍රයාණෙනි!, ඔබ වහන්සේ ඉදිරියෙහි ම බණින වේපචිත්ති අසුරයා ගේ බැනුම භය නිසා ඉවසන සේක් ද? නැතහොත් දුර්වලකම නිසා ඉවසන සේක් ද?
91. නාහං භයා න දුබ්බල්‍යා ඛමාමි වෙචිත්තිනො,
කථඤ්හි මාදිසො විඤ්ඤූ බාලෙන පටිසංයුජෙති.
92. භීය්‍යො බාලා පභිජ්ජෙය්‍යුං නො චස්ස පටිසෙධකො,
තස්මා භූසෙන දණ්ඩෙන ධීරො බාලං නිසෙධයෙති.
93. එතදෙව අහං මඤ්ඤෙ බාලස්ස පටිසෙධනං,
පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මතී ති.
94. එතදෙව තිතික්ඛාය වජ්ජං පස්සාමි වාසව,
යදා නං මඤ්ඤති බාලො භයා ම්‍යායං තිතික්ඛති,
අජ්ඣොරුහති දුම්මෙධො ගො‘ව භීය්‍යො පලායිනං ති
ශක්‍ර
(91) මම බිය නිසා හෝ දුබලකම නිසා හෝ වේපචිත්ති ගේ බැනුම් ඉවසන්නෙම් නො වෙමි. මා වැන්නකු බාලයකු හා පැටළෙන්නේ කුමට දැ යි ඉවසමි.
මාතලී
(92) ඉදින් වළක්වන්නෙක් නැත්තේ නම් බාලයෝ වඩ වඩා කිපෙති, එබැවින් නුවණැත්තේ තද දඬුවමින් බාලයා අපරාධයෙන් වළක්වන්නේ ය.
ශක්‍ර
(93) යමෙක් අනුන් කිපුණු බව දැන සිහි ඇත්තේ ඉවසා ද එය ම බාලයා අපරාධයෙන් වැළැක්වීම ය යි මම සිතමි.
මාතලී :
(94) ශක්‍ර දේවේන්ද්‍රයාණෙනි, යම් කලෙක බාලයා “මොහු මට බයින් ඉවසන්නේ ය” යි සිතා ද එය මම ඉවසීමේ වරද සැටියට දකිමි. බාලයා බිය වී පලා යන ගොනා ගොනුන් ලුහුබඳින්නාක් මෙන් ඉවසන තැනැත්තා පාගන්නේ ය.
95. කාමං මඤ්ඤ වා මාවා භයා ම්‍යායං තිතික්ඛති,
සදත්ථ පරමා අත්ථා ඛන්ත්‍යා භීය්‍යො න විජ්ජති.
96. යො භවෙ බලවා සන්තො දුබ්බලස්ස තිතික්ඛති,
තමාහු පරමං ඛන්තිං නිච්චං ඛමති දුබ්බලො.
97. අබලන්තං බලං ආහු යස්ස බාල බලං බලං,
බලස්ස ධම්ම ගුත්තස්ස පටිසන්තා න විජ්ජති.
98. තස්සෙ ව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති,
කුද්ධං අප්පටි කුජ්ඣන්තො සඞ්ගාමං ජෙති දුජ්ජයං.
ශක්‍ර :
(95) මොහු මට බියෙන් ඉවසාය යි බාලයා සිතතොත් සිතාවා. බාලයා කුමක් සිතුවත් ආත්මාර්‍ථය ම ප්‍රධාන ය. ඉවසීමට වඩා උසස් ආත්මාර්‍ථ පරාර්‍ථයක් නැත.
(96) යමෙක් බලවත් වූයේ දුර්‍වලයා ගේ වරද ඉවසා ද, එය පරම ක්ෂාන්ති ය යි කියනු ලැබේ. දුබලයා නිතර ම ඉවසන්නේ ය.
(97) බාල බලය හෙවත් මෝඩකම යමකු ගේ බලය වේද, එය දුබල කමෙකි. එහෙත් එය මෝඩයෝ බලය කැයි කීහු. ධර්‍මය රක්නහු ගේ ක්ෂාන්තිය බලයට දොස් කියන්නෙක් නැත.
(98) යමෙක් කිපුණහුට තෙමේ ත් කිපේ ද, ඒ හේතුවෙන් ඔහු ගේ අතිශය පාප භාවය වේ. කිපුණහුට පෙරළා නො කිපෙන්නේ දිනීමට දුෂ්කර වූ සංග්‍රාමයෙන් දිනා.
99. උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච,
පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති.
100. උභින්නං තිකිච්ඡන්තානං අත්තනො ච පරස්ස ච,
ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදා‘ති
(සක්ක සංයුත්ත)
චතුත්ථං සතකං.
(99) යමෙක් අනුන් කිපුණු බව දැන සිහියෙන් යුක්ත වූයේ සන්සිඳේ ද, හෙ තෙමේ තමා ගේ ද අනෙකා ගේ ද යන දෙදෙනා ගේ ම අර්ථය පිණිස හැසිරෙන්නේ වේ.
(100) කෝප නො වීම් වශයෙන් තමාට ද අනෙකාට ද යන දෙදෙනාට ම වැඩ සිදු කිරීම් වශයෙන් පිළියම් කරන්නා වූ නුවණැත්තා ධර්‍මය නො දත් ජනයෝ බාලයෙකැ යි සිතත්.
බුඬ නීති සංග්‍රහයේ
සතරවන ශතකය යි.
1. යං ලද්ධං තෙන තුට්ඨබ්බං අතිලොභො හි පාපකො,
හංසරාජං ගහෙත්වාන සුවණ්ණා පරිහායථ.
(1 නි. සුවණ්ණහංස ජා.)
2. තණ්හාහි දට්ඨස්ස කරොන්ති හෙකෙ
අමනුස්ස වද්ධස්ස කරොන්ති පණ්ඩිතා,
න කාම නීතස්ස කරොති කොචි
ඔක්කන්ත සුක්කස්ස හි කා තිකිච්ඡා
(2 නි. කාමනීත ජා.)
3. තණ්හාය ජායති සොකො තණ්හාය ජායති භයං,
තණ්හාය විප්පමුත්තස්ස නත්ථි සොකො කුතො භයං.
(ධ. පිය වග්ග)
(1) යමක් ලබන ලද ද එයින් සතුටු විය යුතු ය. අති ලෝභය නපුරෙකි. අති ලෝභය නිසා ස්වර්ණහංසයා අල්වා පියාපත් ගලවා ගැනීමෙන් දිනපතා ලැබෙමින් තුබුණු රනින් පිරිහුණා ය.
(2) තෘෂ්ණා සර්පයන් විසින් දෂ්ට කරන ලද්දහුට සමහර කෙනෙක් මන්ත්‍රෞෂධාදියෙන් පිළියම් කෙරෙති. අමනුෂ්‍යයන් විසින් පීඩා කරන ලද්දහුට මන්ත්‍රෞෂධාදියෙන් පණ්ඩිතයෝ පිළියම් කෙරෙති. වස්තුකාම ක්ලේශකාමයන් විසින් පීඩිත තැනැත්තා හට කිසිවෙක් පිළියම් නො කෙරේ. කුශල ධර්‍ම සීමාව ඉක්ම වූ අකුශලයෙහි පිහිටි තැනැත්තා හට කිනම් පිළියමක් ද?
(3) තෘෂ්ණාව නිසා ශෝකය හටගනී. තෘෂ්ණාව නිසා බිය ඇති වේ. තෘෂ්ණාවෙන් මිදුණහුට ශෝකයක් නැත. බියක් කොයින් ද?
4. කාමං කාමයමානස්ස තස්ස චෙ තං සමිජ්ඣති,
අද්ධා පීතිමනො හොති ලද්ධා මච්චො යදිච්ඡති.
5. කාමං කාමයමානස්ස තස්ස චෙ තං සමිජ්ඣති
තතො නං අපරං කාමෙ ඝම්මෙ තණ්හං ව වින්දති.
6. ගවං ව සිඞ්ගිනො ගිඞ්ගං වඩ්ඪමානස්ස වඩ්ඪති,
එවං මන්දස්ස පොසස්ස බාලස්ස අවිජානතො.
භීය්‍යො තණ්හා පිපාසා ද වඩ්ඪමානස්ස වඩ්ඪති.
7. පථව්‍යා සාලියවකං ගවාස්සං දාස පොරිසං,
දත්වාපි නාලමෙතස්ස ඉති විද්වා සමං චරෙ.
(4) කාමයන් පතන්නා වූ තැනැත්තා හට ඉදින් ඒ පැතු දෙය සිදු වේ නම්, මිනිස් තෙමේ කැමැත්ත පරිද්දෙන් ලබා ඒකාන්තයෙන් සතුටු සිත් ඇත්තේ වේ.
(5) කාමයන් පතන්නා වූ තැනැත්තා හට ඉදින් ඒ පැතු දෙය සිදු වේ නම්, ඉන්පසු ග්‍රීෂ්ම කාලයේ දී පිපාසය ඇතිවන්නාක් මෙන් ඔහුට තෘෂ්ණා පිපාසය වඩ වඩා ඇති වේ.
(6) අං ඇති වස්සා වැඩෙත් ම අං ද වැඩේ. එපරිද්දෙන් නුවණ මඳ වූ බාල ධර්‍මයන්හි යෙදුණා වූ කාරණාකාරණ නොදන්නා වූ තැනැත්තා හට ඔහු වැඩෙත් වැඩෙත් ම නො ලත් කාමයන් පිළිබඳ වූ තෘෂ්ණාව හා පිපාසාව තවත් වැඩේ.
(7) පොළොවෙහි ඇති තාක් හැල් කෙත් හා යව කෙත් ද එක් අයකුට ම දුන්නේ ද, ඒ පුද්ගලයාට එයින් ඇතිවීමෙක් නො වේ. එ බැවින් නුවණැත්තේ තෘෂ්ණාවට වසඟ නො වී මනාකොට හැසිරෙන්නේ ය.
8. රාජා පසය්හ පඨවිං විජෙත්වා
සසාගරන්තං මහිමා වසන්තො,
ඔරං සමුද්දස්ස අතිත්තරූපො
පාරං සමුද්දස්ස‘ පි පත්ථයෙථ.
9. යාව අනුස්සරං කාමෙ
මනසා තිත්තිනාජ්ඣගා,
තතො නිවත්තා පටිකම්ම දිස්වා
තෙ වෙ තිත්තා යෙ පඤ්ඤාය තිත්තා.
10. පඤ්ඤ තිත්තිනං සෙට්ඨං න සො කාමෙහි තප්පති,
පඤ්ඤා තිත්තං පුරිසං තණ්හා න කුරුතෙ වසං.
11. අපචිනෙ ථෙව කාමානි අප්පිච්ඡස්ස අලොලුපො,
සමුද්දමත්තො පුරිසො න සො කාමෙහි තප්පති.
(8) රජ තෙමේ ජනයා අභිභවනය කොට පෘථිවිය දිනා ගෙන සාගරය කෙළවර කොට ඇති පොළොවට අධිපති ව වාසය කරන්නේ ද සමුද්‍රයෙන් මෙතරින් පමණක් තෘප්තියට නො පැමිණ සමුද්‍රයෙන් එතෙර ද පතන්නේ ය.
(9) කොතෙක් කාම වස්තූන් සිතින් සිහි කළේ ද, ඒවායින් සත්ත්වයා තෘප්තියක් නො ලබන්නේ ය. තවත් ලබන්නට ම සිතන්නේ ය. සිතින් හා කයින් ඒ කාමයන් කෙරෙන් පසු බැස ප්‍රඥාවෙන් කාමයන්ගේ දොස් දැක යම් කෙනෙක් ප්‍රඥාවෙන් තෘප්තියට පැමිණියාහු ද ඔවුහු ම තෘප්තියට පැමිණියාහු වෙති.
(10) ප්‍රඥාවෙන් තෘප්තියට පැමිණීම ශ්‍රේෂ්ඨ ය, ප්‍රඥාවෙන් තෘප්තියට පැමිණි තැනැත්තේ කාමයන් නිසා නො තැවෙන්නේ ය. ප්‍රඥාවෙන් තෘප්තියට පත් තැනැත්තා තෘෂ්ණාව ගේ වසඟයට නො පැමිණේ.
(11) කාමතෘෂ්ණාව නැසීම ම කරන්නේ ය. අල්පේච්ඡ වන්නේ ය. කාමයන් කෙරෙහි ලොල් නො වන්නේ ය. මහත් වූ ප්‍රඥාව ඇති බැවින් සාගරය තරම් වූ පුරුෂ තෙමේ මහත් වූ ද ගින්නකින් සාගර ජලය නො තැවෙන්නාක් මෙන් ක්ලේශ කාමයන් ගෙන් නො තැවෙන්නේ ය.
12. රථකාරො‘ ව චම්මස්ස පරිකන්තං උපාහනං
යං යං චජති කාමානං තං තං සම්පජ්ජතෙ සුඛං,
සබ්බඤ්චෙ සුඛ මිච්ඡෙය්‍ය සබ්බකාමෙ පරිච්චජෙ.
(12 නි. කාම ජා.)
13. න කිරත්ථි රසෙහි පාපියො
ආවාසෙහි වා සන්ථවෙහි වා,
වාතමිගං ගෙහ නිස්සිතං
වසමානෙසි රසෙහි සඤ්ජයො.
(1 නි. වාතමිග ජා.)
14. සාදුං වා යදි වා සාදුං අප්පං වා යදි වා බහුං,
විස්සත්ථො යත්ථ භුඤ්ජෙය්‍ය විස්සාස පරමා රසා.
(4 නි. කේසව ජා.)
(12) පාවහන් තනන කම්කරුවා සමේ නො මනා කොටස් කපා හැර පාවහන් තනා මිල ලබා යම් සේ සැපවත් වේ ද, එ මෙන් නුවණැත්තේ නුවණ නමැති සැතින් කපා හරිමින් කාමයන් ගෙන් යම් පමණ බැහැර කෙරේ ද, ඒ ඒ පමණට ඔහුට කාය වචී මනඃ කර්‍ම සුවසේ සිදු වේ. සකල කාය වචී මනඃ කර්‍මයන් ගේ සුවසේ සිදු වීම ඉදින් කැමති වන්නේ නම් සියලු කාමයන් හරනේ ය.
(13) වාසස්ථාන පිළිබඳ තෘෂ්ණාව ද නපුරෙක. මිත්‍රසන්ථවය පිළිබඳ තෘෂ්ණාව ද නපුරෙක. එහෙත් රස තෘෂ්ණාව පමණට නපුරක් නම් නැත. “සඤ්ජය” නම් උයන් පල්ලා වනය ඇසුරු කොට වෙසෙන වාත මෘගයා රසයෙන් තමා ගේ වසයට පැමිණ වී.
(14) මිහිරි වූ හෝ අමිහිරි වූ හෝ මඳ වූ හෝ බොහෝ වූ හෝ බොජුනක් යම් තැනක විශ්වාස ව වළඳා නම් එය මිහිරි ය. රසයෝ විශ්වාසය ප්‍රධාන කොට ඇත්තෝ ය.
15. මනුජස්ස සදා සතිමතො
වත්තං ජානතො ලද්ධ භොජනෙ,
තනු තස්ස භවන්ති වෙදනා
සනිකං ජිරති ආයුං පාලයං.
(කෝසල සංයුත්ත)
16. අරඤ්ඤෙ විහරන්තානං සන්තානං බ්‍රහ්මචාරිනං,
එක භත්තං භුඤ්ජමානානං කෙන වණ්ණො පසීදති.
17. අතීතං නානු සොචන්ති නප්පජප්පන්ති නාගතං,
පච්චුප්පන්නෙන යාපෙන්ති තෙන වණ්ණො පසීදති.
18. අනාගතප්ප ජප්පාය අතීතස්සානු සොවනා,
එතෙන බාලා සුස්සන්ති නළොව භරිතො ලුතො.
(දේවතා සංයුත්ත)
(15) සැම කල්හි සිහියෙන් යුක්ත වන්නා වූ, ලද බොජුනෙහි ප්‍රමාණය දන්නා වූ ඒ මනුෂ්‍යයා හට වේදනාවෝ තුනී වෙති. ජීවිතය ආරක්ෂා කරමින් ආහාරය සෙමින් දිර යි.
මෙය දෙවියකු ගේ ප්‍රශ්නයකි:
(16) කෙලෙස් සංසිඳ වූ ශ්‍රේෂ්ඨ චර්‍ය්‍යා ඇත්තා වූ අරණ්‍යයෙහි වෙසෙන්නා වූ එක් වේලක බත වළඳන්නා වූ පැවිද්දන් ගේ ශරීර වර්ණය කවර හේතුවක් නිසා බබලා ද?
බුදුන් වහන්සේ ගේ පිළිතුර:
(17) පැවිද්දෝ ඉකුත් වූ දෙය ගැන ශෝක නො කරති. අනාගතය නො පතති. වර්තමානයේ ලද දෙයකින් යැපෙති. මේ කරුණු තුනෙන් ඔවුන් ගේ ශරීර වර්‍ණය බබලා.
(18) අනාගතය පැතීමෙන් ද අතීතය ගැන ශෝක කිරීමෙන් ද යන දෙකරුණෙන් බාලයෝ කපා අව්වේ ලූ ළා බටදඬු මෙන් වියළෙති.
19. කොධං ඣත්වා සුඛං සෙති කොධං ඣත්වා න සොචති
කොධස්ස විසමූලස්ස මධුරග්ගස්ස බ්‍රාහ්මණ,
වධං අරියා පසංසන්ති තං හි ඣත්වා න සොචති.
(බ්‍රාහ්මණ සංයුත්ත)
20. කට්ඨස්මිං මත්ථමානස්මිං පාචකො නාම ජායති,
තමෙ ව කට්ඨං දහති යස්මා සො ජායතෙ ගිනි.
21. එවං මන්දස්ස පොසස්ස බාලස්ස අවිජානතො,
සාරම්භො ජායතෙ කොධො සො‘පි තෙ නෙව ඩය්හති.
22. අග්ගී‘ ව තිණකට්ඨස්මිං කොධො යස්ස පවඩ්ඪති,
නිහීයති තස්ස යසො කාලපක්ඛෙ‘ ව චන්දිමා.
(19) බ්‍රාහ්මණය, ක්‍රෝධය නසා සුවසේ නිදයි. ක්‍රෝධය නසා ශෝක නො කෙරෙයි, මුල විෂ වූ අග මිහිරි වූ ක්‍රෝධයා ගේ නැසීම ආර්‍ය්‍යයෝ පසසති, එය නසා ශෝක නො කෙරේ.
(20) ලීයක තවත් ලීයක් උලන කල්හි ගින්න හට ගනී. ඒ ගින්න යම් ලීයකින් හටගත්තේ ද, ඒ ලීය ම එයින් දවනු ලැබේ.
(21) එ මෙන් නුවණ මඳ වූ බාල වූ කාරණා‘ කාරණයන් නො දන්නා වූ තැනැත්තා හට සාරම්භය (එකට එක කිරීම) නිසා ක්‍රෝධය හට ගනී. පසුව හෙ තෙම් ද ඒ ක්‍රෝධයෙන් දවනු ලබා.
(22) වියළි තණ වල සහ දරවල ගින්න මෙන් යමකු ගේ සන්තානයෙහි ක්‍රෝධය වැඩේ ද, කාලපක්‍ෂයෙහි සඳ මෙන් ඔහු ගේ යසස පිරිහේ.
23. අනිජ් ඣනො ධුමකෙතූ‘ව කොධො යස්සුපසම්මතී,
ආපූරති තස්ස යසො සුක්කපක්ඛෙ‘ව චන්දිමා
(10 නි. චුල්ලබෝධි ජා.)
24. කොධ සම්මද සම්මත්තො ආයසක්‍යං නිගච්ඡති,
ඤාති මිත්තා සුහජ්ජා ච පරිවජ්ජෙන්ති කොධනං.
25. අනත්ථ ජනනො කොධො කොධො චිත්ත පකොපනො,
භය මන්නරතො ජාතං තං ජනො නාව ඛුජ්ඣති.
26. කුද්ධො අත්ථං න ජානාති කුද්ධො ධම්මං න පස්සති,
අන්ධන්තමං තදා හොති යං කොධො සහතෙ නරං.
(අංගුත්තර සත්තක නි.)
27. විවාදෙන කිසා හොන්ති විවාදෙන ධනක්ඛයා,
ජිනා උද්දා විවාදෙන භුඤ්ජ මායාවි රොහිතං.
(23) දර නැති ගින්න මෙන් යමකු ගේ සන්තානයෙහි ක්‍රෝධය සන්සිඳේ ද, ඔහු ගේ යසස ශුක්ල පක්‍ෂයෙහි චන්ද්‍රයා මෙන් පිරේ.
(24) ක්‍රෝධ මදයෙන් මත් වූයේ අයසසට පැමිණේ. ඥාතීහු ද, මිත්‍රයෝ ද, සහෘදයෝ ද, ක්‍රෝධ කරන්නා දුරු කෙරෙති.
(25) ක්‍රෝධය අනර්ත්ථ ඇති කරන්නකි. ක්‍රෝධය සිත කෝප කරවන්නකි. ක්‍රෝධය ඇතුළෙන් ම හට ගන්නා බියකි. සත්ත්ව තෙමේ ඒ බව නො දනී.
(26) කිපුණු තැනැත්තේ අර්ථය නො දනී. කිපුණු තැනැත්තේ ධර්මය නො දනී, ක්‍රෝධය යම් මිනිසකු යට කෙරේ ද, එ කල්හි ඔහුට මහ අඳුරක් ඇති වේ.
මෙය තේරුම් ගැනීමට දබ්භපුප්ඵ ජාතකය බලනු.
(27) විවාදය නිසා සත්ත්වයෝ කෘශ වෙති. විවාදය නිසා ධනය ක්‍ෂය වේ. විවාදය නිසා දිය බල්ලෝ දෙදෙන මසින් පිරිහුණෝ ය. මායාවී!, රේමස අනුභව කරව.
28. එවමෙවං මනුස්සෙසු විවාදො යත්ථ ජායතී,
ධම්මට්ඨං පටිධාවන්ති සො හි නෙසං විනායකො
ධනා පි තත්ථ ජියන්ති රාජකො සො පවඩ්ඪති.
(7 නි. දබ්භපුප්ඵ ජා.)
29. ජයං වේරං පසවති දුක්ඛං සෙති පරාජිතො,
උපසන්තො සුඛං සෙති හිත්වා ජය පරාජයං.
(ධ. සුඛ වග්ග)
30. යො න හන්ති න ඝාතෙති න ජිනාති න ජාපයෙ,
මෙත්තං සො සබ්බභූතෙසු වෙරං තස්ස න කෙනචි
(10 නි. චක්කවාක ජා.)
(28) විවාදය නිසා දියබල්ලෝ යම් සේ රෙමසින් පිරිහුණාහු ද, එ පරිද්දෙන් මනුෂ්‍යයන් කෙරෙහි යම් කරුණකට විවාදයක් හට ගත්තේ ද, එ කල්හි ඔවුහු එය සන්සිඳවා ගනු පිණිස විනිශ්චයකාරයා වෙත යෙති. ඔහු ඔවුන් ගේ නායකයා ය. විවාදයට පැමිණියෝ එහි ධනයෙන් පිරිහෙති. ඔවුන් ගේ ධනයෙන් රජු ගේ භාණ්ඩාගාරය පිරේ.
(29) විවාදයෙන් හෙවත් කලහයෙන් දිනන තැනැත්තේ සතුරෙක් ඇති කර ගන්නේ වේ. පැරදුණු තැනැත්තේ කවදා පලිගන්නෙම් දැ යි සිතමින් දුකසේ වෙසේ. ජය පරාජය දෙක ම හැර සන්සුන් වූ තැනැත්තේ සුවසේ වෙසේ.
(30) යමෙක් අනුන් නො නසා ද, නො නසවා ද, අනුන් ගේ ධනය නො දිනාගනී ද, අනුන් ලවා නො දිනවා ද, සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය ඇත්තා වූ ඔහුට කිසිවකු හා වෛරයක් නැත.
31. න හි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං,
අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනන්තනො.
(ධ. යමක වග්ග)
32. පරදුක්ඛූපදානෙන අත්තනො සුඛ මිච්ඡති,
වෙරසංසග්ග සංසට්ඨො වෙරා සො න පරිමුච්චති.
(ධ. පකිණ්ණක වග්ග)
33. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනො,
අත්තානං උපමං කත්වා න හනෙය්‍ය න ඝාතයෙ.
(ධ. දණ්ඩ වග්ග)
(31) මේ ලෝකයෙහි කිසි කලෙක වෛර කිරීමෙන් වෛරය නො සන්සිඳේ. වෛරය සන්සිඳෙන්නේ අවෛරයෙන් ම ය. මේ අවෛරයෙන් වෛරය සන්සිඳෙන බව පෞරාණික ධර්‍මය ය, එය බුඬාදි උතුමන් ගිය මඟ ය.
(32) යමෙක් පර හට දුක් දීමෙන් තමාට සැප ලබනු කැමති වේ ද, ආක්‍රෝශ කළ අයට ආක්‍රෝශ කිරීම ය, පහර දුන් අයට පහර දීම ය යනාදි වශයෙන් වෛර සංසර්‍ගයෙන් මිශ්‍රවූ හෙතෙමේ වෛරයෙන් නො මිදෙන්නේ ය.
(33) සියල්ලෝ ම දඬුවමට තැති ගනිති. සියල්ලෝ ම මරණයට බිය වෙති. එ බැවින් තමා උපමා කොට අනුන්ට පහර නො දෙන්නේ ය. පහර නො දෙවන්නේ ය.
34. සම්මොදමානා ගච්ඡන්ති ජාලමාදාය පක්ඛිනො,
යදා තෙ විවදිස්සන්ති තදා එහින්ති මෙ වසං.
(1 නි. සම්මෝදමාන ජා.)
35. යාවජිවම්පි චෙ බාලො පණ්ඩිතං පයිරුපාසති,
න සො ධම්මං විජානාති දබ්බී සූපරසං යථා.
36. යො බාලො මඤ්ඤතී බාල්‍යං පණ්ඩිතො වාපි තෙන සො,
බාලො ච පණ්ඩිතමානි සවෙ බාලොති වුච්චති.
මෙය දැල ඔසවා ගෙන පියාසර කළ වටු සමූහයක් ගැන වැද්දකු විසින් කියන ලද්දකි.
(34) මේ පක්ෂීහු මගේ දැල ඔසවා ගෙන සතුටු වෙමින් යෙති. යම් කලෙක ඔව්හු ඔවුනොවුන් වාද කරන්නාහු ද, එ කල්හි ඔවුහු මාගේ වසයට එන්නාහු ය. (මට අසුවන්නාහු ය.)
(35) ඉදින් බාලයා කොතෙක් කල් පණ්ඩිතයන් ඇසුරු කළේ ද, කොතෙක් කල් සැඳිගාවත් සැන්ද ව්‍යඤ්ජන රසය නො දැන ගන්නාක් මෙන් හෙතෙමේ ධර්‍මය නො දැන ගනී.
(36) යම් බාලයෙක් තමා ගේ බාල බව දන්නේ නම් එයින් හේ පණ්ඩිත හෝ වේ. තමා පණ්ඩිත ය යි සිතන බාලයා ම ඒකාන්තයෙන් බාලයා ය යි කියනු ලැබේ.
37. යාවදෙව අනත්ථාය ඤත්තං බාලස්ස ජායති,
හන්ති බාලස්ස සුක්කංසං මුද්ධමස්ස විපාතයං.
(ධ. බාල වග්ග)
38. යසං ලද්ධාන දුම්මෙධො අනත්ථං චරති අත්තනො,
අත්තනො ච පරෙසඤ්ච හිංසාය පටිපජ්ජති.
(1 නි. දුම්මේධ ජා.)
39. න වෙ අනත්ථකුසලෙන අත්ථචරියා සුඛා වහා,
හාපෙති අත්ථං දුම්මෙධො කපි ආරාමිකො යථා.
(1 නි. ආරාමදූසක ජා.)
(37) බාලයාට ඇති වන ශිල්ප ශාස්ත්‍ර ඥානය ද අනර්ථය පිණිස වේ. බාලයාට ඇති ශිල්ප ශාස්ත්‍ර ඥානය ඔහු ගේ නුවණ නමැති හිස කපා හෙලමින් ඔහු ගේ කුශල පක්ෂය නසා.
(38) නුවණ නැති තැනැත්තේ පිරිවර හා ඓශ්වර්‍ය්‍යය ලබා එයින් තමාට අනර්ථයක් කර ගන්නේ ය. හෙ තෙමේ එයින් තමාට හා අනුන්ට ද හිංසාවක් පිණිස ම පිළිපදී.
(39) අනර්ත්ථයට සමර්ථ වූ අර්ථයට නො සමත් වූ බාලයා විසින් කරන අර්ථචර්‍ය්‍යාව සැප ඇති කරන්නක් නො වේ. උයනේ විසූ වඳුරා මෙන් මෝඩයා අර්ථයක් කරමි යි අර්ථය නසන්නේ ය. (හොඳක් ය යි නපුරක් කරන්නේ ය.)
40. සෙය්‍යො අමිත්තො මෙධාවී යඤ්චෙ බාලානුකම්පකො,
පස්ස රොහිණිකං ජම්මිං මාතරං හන්ත්වාන සොචති.
(1 නි. රෝහිණී ජා.)
41. බාලං න පස්සෙ න සුණෙ න ච බාලෙන සංවසෙ,
බාලෙනල්ලාප සල්ලාපං න කරෙ න ච රොචයෙ.
42. අනයං නයති දුම්මෙධො අධුරාය නියුඤ්ජති,
දුන්නයො සෙය්‍යසො හොති සම්මා වුත්තො පකුප්පති.
විනයං සො න ජානාති සාධු තස්ස අදස්සනං.
(13 නි. අකිත්ති ජා.)
(40) අනුකම්පා කරන්නා වූ යම් බාලයෙක් වේ ද, ඔහුට වඩා නුවණැති සතුරා උතුමි. ලාමක වූ රෝහිණිය බලව. ඈ මව මරා දමා ශෝක කරන්නී ය.
මෙය “අකීර්ති” පණ්ඩිතයන් ගේ ප්‍රකාශයකි.
(41) බාලයා දක්නට නො වේවා! බාලයා ගැන අසන්නට නො ලැබේවා! බාලයා හා එක්ව විසීමට ද නො වේවා! බාලයා හා කථා කරන්නට ද නො වේවා! බාලයා හා සතුටු වීමක් ද නො වේවා!
(42) නුවණ නැත්තේ අකාරණය කාරණය කොට ගනී. ප්‍රාණවධාදි නො යෙදිය යුත්තෙහි යෙදේ, නො මනා දෙය ම ඔහුට උතුම් දෙය වේ. අර්ථයෙන් ධර්‍මයෙන් මනා කොට කියන ලදුයේ කිපෙයි, හේ ආචාර විනය නො දනී. එ බැවින් ඔහු නො දැකීම ම යහපති.
43. ගම්භීර පඤ්හං මනසා විචින්තයං
නාච්චාහිතං කම්ම කරොති ලුද්දං.
කාලාගතං අත්ථපදං න රිඤ්චති
තථා විධං පච්චවන්තං වදන්ති.
(40 නි. සරභංග ජා.)
44. යදුනකං තං සනති යං පුරං සන්තමෙවතං,
අඩ්ඪ කුම්භූපමො බාලො රහදො පුරොව පණ්ඩිතො.
(සුත්තනිපාත කාලක සුත්ත)
45. හංසා කොඤ්චා මයූරා ච හත්ථියො පසදා මිගා,
සබ්බේ සීහස්ස භායන්ති නත්ථි කායස්මිං තුල්‍යතා.
46. එවමෙව මනුස්සෙසු දහරො චෙපි පඤ්ඤවා,
සොහි තත්ථ මහා හොති නෙ ව බාලො සරීරවා.
(2 නි. කේලිසීල ජා.)
(43) යමෙක් අර්ථ වශයෙන් හා පාලි වශයෙන් ද ගැඹුරු වූ කරුණු සිතින් සිතා ප්‍රකට කෙරේ ද, ඉතා අහිත වූ ප්‍රාණවධාදි රෞද්‍ර කම් නො කෙරේ ද ඒ ඒ කාලයට කළ යුතු වූ දානශීලාදිය නො පිරිහෙවා ද, එබඳු පුද්ගලයා බුඬාදීහු ප්‍රාඥයා ය යි කියති.
(44) යමක් අඩු නම් එය සැලේ. යමක් පිරී තිබේ නම් එය ශාන්ත ම ය. බාලයා අඩක් දිය ඇති සැළියක් වැනි ය. පණ්ඩිතයා දිය පිරුණු විලක් වැනි ය.
(45) හංසයෝ ද කොස්වාලිහිණියෝ ද මොණරු ද, ඇත්තු ද, එළුවෝ ද, අන්‍ය මෘගයෝ ද යන මේ සියල්ලෝ ම සිංහයාට බිය වෙති. ඔවුන් ගේ ශරීරයෙහි සම බවක් නම් නැත.
(46) එමෙන් මනුෂ්‍යයන් කෙරෙහි වයසින් බාලයකු දු ප්‍රඥාවත් වී නම් හෙතෙම එහි මහත් වෙයි. මහත් වූ ශරීරය ඇති අඥයා මහත් නො වේ.
47. පඤ්ඤා හි සෙට්ඨා කුසලා වදන්ති
නක්ඛත්ත රාජා‘ රිව තාරකානං,
සීලං සිරිං චා පි සතඤ්ච ධම්මො
අන්වායිකා පඤ්ඤවතො වදන්ති.
(40 නි. සරහඞ්ග ජා.)
48. චිත්තෙන නීයති ලොකො චිත්තෙන පරිකස්සති,
චිත්තස්ස එකධම්මස්ස සබ්බෙ‘ ව වසමන්වගු.
(දේවතා සංයුත්ත)
49. දිසො දිසං යං තං කයිරා වෙරි වා පන වෙරිනං,
මිච්ඡා පණිහිතං චිත්තං පාපියො නං තතො කරෙ.
(47) ආචාර ශීලය ය, ඉසුරුමත් බව ය, සත්පුරුෂ ධර්‍මය ය යන මේවාට වඩා ප්‍රඥාව ශ්‍රේෂ්ඨ ය යි බුද්ධාදි උතුමෝ පවසති. ආචාර ශීලය ය, ඉසුරුමත් බව ය, සත්පුරුෂ ධර්‍මය ය යන මේවා ප්‍රාඥයා අනුව යන්නාහු ය යි බුද්ධාදි උතුමෝ කියති.
(48) ලෝ වැසි තෙමේ සිතින් ඒ ඒ තැනට පමුණුවනු ලැබේ. සිතින් ඒ ඒ තැනට අදනා ලැබේ. එක ධර්මයක් වූ චිත්තයා ගේ වසයට සියල්ලෝ ම ගියා හු ය.
(49) සොරෙක් තවත් සොරකුට යම් නපුරක් කෙරේ ද, සතුරෙක් සතුරකුට යම් නපුරක් කෙරේ ද, එයට වඩා නපුරක් නො මනා කොට පැවැත් වූ සිත සත්ත්වයාට කරන්නේ ය.
50. න තං මාතා පිතා කයිරා අඤ්ඤෙ වා පි ච ඤාතකා,
සම්මා පණිහිතං චිත්තං සෙය්‍යසො නං තතො කරෙ.
(ධ. චිත්ත වග්ග)
51. යථොදකෙ ආවිලෙ අප්පසන්නෙ
න පස්සති සිප්පි සම්බුක මච්ඡ ගුම්බං,
එවං ආවිලෙහි චිත්තෙ
න පස්සති අත්තදත්ථං පරත්ථං
52. යථොදකෙ අච්ඡෙ විප්පසන්නෙ
යො පස්සති සිප්පි ච මච්ඡ ගුම්බං,
එවං අනාවිලෙහි චිත්තෙ
සො පස්සති අත්තදත්ථං පරත්ථං.
(2 නි. අනහිරති ජා.)
(50) ස්වර්ග මෝක්ෂ සම්පත් ලබාදීම නමැති යම් උතුම් අර්ථයක් මනා කොට තබන ලද සිතින් සිදු කරනු ලැබේ ද ඒ යහපත දරුවකුට මව ද නො කරන්නී ය, පියා ද නො කරන්නේ ය. අන්‍ය නෑයෝ ද නො කරන්නාහ. දශ කුශල ධර්‍ම විෂයෙහි මනා කොට තබන ලද සිත ඒ පුද්ගලයා අතිශයින් උත්තමයෙක් කරන්නේ ය.
(51) මඩ වූ අප්‍රසන්න වූ දියෙහි රන්වන් බෙල්ලන් හා වට බෙල්ලන් ද මත්ස්‍ය සමූහය ද යම් සේ නො පෙනේ ද, එ පරිද්දෙන් සිත රාගාදියෙන් අප්‍රසන්න වූ කල්හි ඒ පුද්ගල තෙමේ ආත්මාර්ථය හා පරාර්ථය නො දකී.
(52) මඩයෙන් මිශ්‍ර නො වූ පිරිසිදු වූ ජලයෙහි රන්වන් බෙල්ලන් හා මත්ස්‍ය සමූහය යම් සේ පෙනේ ද, එ මෙන් සිත පහන් වූ කල්හි ඒ පුද්ගලයාට ආත්මාර්ථය හා පරාර්ථය පෙනේ.
53. යස්ස සෙලූපමං චිත්තං ඨිතං නා නූපකම්පති,
විරත්තං රජනීයෙසු කොපනෙය්‍යෙ න කුප්පති
යස්සෙවං භාවිතං චිත්තං කුතො තං දුක්ඛ මෙස්සති.
(උදාන)
54. නා චින්තයන්තො පුරිසො විසෙස මධිගච්ඡති,
චින්තිතස්ස ඵලං පස්ස මුත්තොස්මි මාරබන්ධනා.
(1 නි. වට්ටක ජා.)
55. හිරි ඔත්තප්ප සම්පන්නා සුක්ක ධම්ම සමාහිතා,
සන්තො සප්පුරිසා ලොකෙ දෙව ධම්මාති වුච්චරෙ.
(1 නි. දේවධම්ම ජා.)
(53) යමකු ගේ සිත ගල් කන්දක් වැනි ද, ස්ථිර වේද නො සැලේ ද, ඇලුම් කළ යුතු සත්ත්ව සංස්කාරයන් කෙරෙහි නො ඇලේ ද, කිපිය යුතු කරුණුවලදී නො කිපේ ද, යම් කෙනකු ගේ සිත එසේ නො සැලී පවත්නා පරිදි වඩන ලද ද, ඔහුට කොයින් දුක් ඒ ද? නො ඒ ම ය.
(54) විපත් පැමිණි කල්හි ඉන් මිදීමේ උපාය නො සිතන්නා වූ තැනැත්තේ සැපය නමැති විශේෂයට නො පැමිණේ. සිතීමේ ඵලය බලව. මම මාර බන්ධනයෙන් මිදුණේ වෙමි.
(55) ලජ්ජා බිය දෙකින් යුක්ත වූ කුශල ධර්‍මයන් ගෙන් යුක්ත වූ ශාන්ත වූ සත්පුරුෂයෝ ලෝකයෙහි දේවධර්‍මයෝ ය යි කියනු ලැබෙත්.
56. දක්ඛං ගහපතං සාධු සංවිභජ්ජඤ්ච භොජනං,
අහාසො අත්ථ ලාභෙසු අත්ථ බ්‍යාපත්ති අබ්‍යථො.
(8 නි. ඉන්ද්‍රිය ජා.)
57. යාතානුයායී ච භවාහි මානව
අල්ලඤ්ච පාණිං පරිජ්ජ යස්සු,
මාචස්සු මිත්තෙසු කදාචි දුබ්හි
මාව වසං අසතීනං න ගච්ඡෙ.
58. කථං නුයාතං අනුයායි හොති
අල්ලඤ්ච පාණිං දහතෙ කථං සො.
අසතී ච කා කො පන මිත්ත දුබ්භො
අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං.
(56) ගිහි ගෙයි වාසය කරන තැනැත්තා ගේ වස්තුව සැපයීමේ සමත් බව යහපත් ය. උත්සාහයෙන් සපයා ගත් වස්තුව දියයුත්තන්ට දෙමින් බෙදා අනුභව කරන බව යහපත් ය. ධනය ලත් කල්හි උඩඟු නො වීම යහපත් ය. වස්තු විනාශයේ දී ශෝක කරමින් නො වෙහෙසෙන බව යහපත් ය.
සාධු නර ධර්‍මය පූර්ණක නම් යක්‍ෂයා හට මහ බෝසත් විධුර පණ්ඩිතයන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය.
(57) මාණවකය, ගිය තැනැත්තා අනුව යන්නේ වෙව. තෙත් වූ අත දැවීමෙන් වෙන් වෙව. කිසිකලෙක මිත්‍රයන්ට ද්‍රෝහි නො වෙව. කිසිකලෙක සිහි නැතියන් ගේ වසයට නො යව.
(58) කෙසේ නම් ගිය තැනැත්තා අනුව යන්නේ වේ ද? හෙ තෙමේ තෙත් වූ අත දවන්නේ කෙසේ ද? සිහි නැති තැනැත්තී නම් කවරී ද? මිත්‍ර ද්‍රෝහියා කවරේ ද? අසන්නා වූ මට මේ කාරණය කියනු මැනව.
59. අසත්ථුතං නො පි ච දිට්ඨ පුබ්බං
යො ආසනෙනා පි නිමන්තයෙය්‍ය,
තස්සෙ ව අත්ථං පුරිසො කරෙය්‍ය
යාතානුයායිති තමාහු පණ්ඩිතා.
60. යස්සෙකරත්තිම්පි ඝරෙ වසෙය්‍ය
යත්ථන්න‘ පානං පුරිසො ලභෙථ.
න තස්ස පාපං මනසා පි චෙතයෙ
අදුබ්භ පාණිං දහතෙ මිත්තදුබ්භො.
යස්ස රුක්ඛසේස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍ය වා
න තස්ස සාඛං භඤ්ජෙය්‍ය මිත්ත දුබ්භො හි පාපකො.
(59) යම් කිසිවෙක් තමා හා දිනක් දෙකක් පමණ මුත් කිසි කලෙක එක්ව නො විසූ කිසි කලෙක නුදුටු විරූ කෙනකුට වාඩිවන්නට අසුනක් දීම පමණකින් මුත් සංග්‍රහ කෙළේ ද, ඒ සංග්‍රහය ලැබූ පුරුෂ තෙමේ සංග්‍රහ කළ තැනැත්තා හට යහපතක් ම කරන්නේ ය. පණ්ඩිතයෝ එසේ කරන්නා වූ තැනැත්තා ගිය අය අනුව යන්නේය යි කීහු.
(60) පුරුෂ තෙමේ යමකු ගේ ගෙයි එක් රැයක් මුත් විසුයේ ද, යම් ගෙයක දී ආහාර පාන ලැබුයේ ද, ඒ තැනැත්තා හට නපුරක් සිතින් වත් නො සිතන්නේ ය. ගුණ කළ අයට නපුරු කම් කරන්නා වූ මිත්‍ර ද්‍රෝහියා තමා ගේ ආහාර වළඳන අත දවන්නේ ය. ආහාර පාන දුන් තැනැත්තේ වළඳන අත වැනි බැවින් මෙසේ වදාළහ.
යස්ස රුක්ඛස්ස ඡායාය යනාදී ගයේ භාවය 57 වන පිටුවේ දැක්විණ.
61. පුණ්ණම්පි චෙතං පඨවිං ධනෙන
දජ්ජිත්ථියා පුරිසො සම්මතාය,
ලද්ධා ඛණං අතිමඤ්ඤෙය්‍ය තම්පි
තාසං වසං අසතීනං න ගච්ඡෙ.
62. එවං ඛො යාතං අනුයායි හොති
අල්ලඤ්ච පාණිං දහතෙ පුනෙවං.
අසතී ච සා සො පන මිත්තදුබ්භො
සො ධම්මියො හොති පහස්සු අධම්මං.
(මහා නිපාත විධුර ජා.)
63. අලසො ගිහී කාමභොගී න සාධූ
අසඤ්ඤතො පබ්බජිතො න සාධූ,
රාජා න සාධු අනිසම්මකාරි
යො පණ්ඩිතො කොධනො තං න සාධූ.
(4 නි. රථලට්ඨි ජා.)
(61) මා හැර අන් පුරුෂයකු මේ ස්ත්‍රිය කැමති නො වන්නී ය යි සලකන ලද ස්ත්‍රියකට, පුරුෂයෙක් ධනයෙන් පිරූ මේ මහ පොළොව සම්පූර්ණයෙන් අයිති කර දුන්නේ ද අවකාශයක් ලදහොත් ඒ ස්ත්‍රී ද ඒ පුරුෂයා ඉක්මවන්නී ය. කළ ගුණ අමතක කරන්නා වූ ඒ ස්ත්‍රීන් ගේ වසයට හසු නො වෙව.
(62) මෙසේ ගිය තැනැත්තා අනුව යන්නේ වේ. මෙසේ නැවත තමාගේ වළඳන අත දවන්නේ වේ, කියන ලද්දා වූ ඒ ස්ත්‍රිය සිහි නැති තැනැත්තී ය. තමාට සංග්‍රහ කළ අයට නපුරු කම් කරන්නා වූ හේ වනාහී මිත්‍ර ද්‍රෝහියා ය. දිව්‍යරාජය, ඒ තොප මේ ධර්‍ම සතරින් යුත්ත වී ධාර්මික වෙව.
(63) අලස වූ කාමභෝගී ගිහියා යහපත් නො වේ. සන්සිඳීමක් නැත්තා වූ පැවිද්දා යහපත් නො වේ. නො විමසා ක්‍රියා කරන්නා වූ රජ යහපත් නො වේ. යම් පණ්ඩිතයෙක් ක්‍රෝධ කෙරේ නම් ඔහු ගේ ඒ කිපෙන බව යහපත් නො වේ.
64. චත්තාරො මෙ මහාරාජ ලොකෙ අති බලා භුසා,
රාගො දොසො මදො මොහො යත්ථ පඤ්ඤා න ගාධති.
65. මෙධාවිනම්පි හිංසන්ති ඉසිං ධම්ම ගුණෙ රතං,
විතක්කා පාපකා රාජ සුභා රාගුපසංහිතා
(9 නි. හාරිත ජා.)
66. සාධූ ඛො සිප්පතං නාම අපි යාදිස කීදිසං,
පස්ස ඛඤ්ජප්පහාරෙන ලද්ධා ගාමා චතුද්දිසං.
(1 නි. සාලිත්ත ජා.)
67. සික්ඛෙය්‍ය සික්ඛිතබ්බානි සන්ති සච්ඡන්දිනො ජනා,
බාහියා හි සුභන්තෙන රාජානමභිරාධයි.
(නි. බාහිය ජා.)
(64) මහරජ, රාගය ය, ද්වේෂය ය, මදය ය, මෝහය ය යන මේ ධර්‍මයෝ සතර දෙන ලෝකයෙහි අති බලයෝ ය. සිත් සතන්හි ඒ ධර්‍ම නැඟ සිටි කල්හි ඒ පුද්ගලසන්තානයේ ප්‍රඥාව පිහිටක් නො ලබා.
(65) මහරජ, ශුභ නිමිත්තයන් අරමුණු කොට පවත්නා වූ රාග සහිත විතර්කයෝ නුවණැත්තා වූ ධර්‍ම ගුණයෙහි ඇලුනා වූ සෘෂිවරයන් ද පෙළන්නා හ.
(66) ශිල්ප නම් වූ දෙය කෙබඳු එකක් වුවත් යහපත් ම ය. බලව! පිළා එළු බෙටි විදීමෙන් සතර දිශාවෙහි ගම් ලද්දේ ය.
(67) උගතයුතු කවර ශිල්පයක් වුව ද උගන්නේ ය. පිටිසර ස්ත්‍රිය මැනවින් මලපහ කිරීමෙන් රජු සතුටු කළා ය. (බාහිය ජාතකය බලනු.)
68. ඉත්ථියො ජීව ලොකස්මිං යා හොන්ති සමචාරිනී,
මෙධාවිනි සීලවතී සස්සු දෙවා පතිබ්බතා.
69. තාදිසාය සුමෙධාය සුචි කම්මාය නාරියා,
දෙවා දස්සන මායන්ති මානුසියා අමානුසා.
(පකිණ්ණක නි. සුරූපි ජා.)
70. නග්ගා නදි අනුදකා, නග්ගා රට්ඨං අරාජිකං,
ඉත්ථි‘ පි විධවා නග්ගා යස්සා‘ පි දසභාතරො.
71. ධජො රථස්ස පඤ්ඤාණං, ධූමො පඤ්ඤාණ මග්ගිනො,
රාජා රට්ඨස්ස පඤ්ඤාණං, භත්තා පඤ්ඤාණ මිත්ථියා.
(68) සුචරිතයෙහි හැසිරෙන්නා වූ නුවණැත්තා වූ සිල්වත් වූ නැන්දණිය දෙවි කොට ඇත්තා වූ පතිව්‍රතා ඇත්තා වූ යම් ස්ත්‍රීහු සත්ත්වලෝකයෙහි වෙත් ද,-
(69) මනා නුවණ ඇත්තා වූ පිරිසිදු ක්‍රියා ඇත්තා වූ මනුෂ්‍ය වූ එබඳු ස්ත්‍රිය දක්නට මනුෂ්‍ය නො වූ දෙවියෝ ද එති.
(70) ජලය නැති ගංගාව නග්නය, රජකු නැති රට නග්නය, යම් ස්ත්‍රියකට සහෝදරයන් දශ දෙනකු ඇත ද සැමියකු නැති නම් ඒ ස්ත්‍රිය නග්නය.
(71) කොඩිය රථය ප්‍රකට වීමට කරුණ ය, දුම ගින්න ප්‍රකට වීමට කරුණ ය, රජ රට ප්‍රකට වීමට කරුණ ය, සැමියා ස්ත්‍රිය ප්‍රකට වීමට කරුණ ය.
72. යා දළිද්දී දළිද්දස්ස, අඩ්ඪා අඩ්ඪස්ස කිත්තිමා,
තං වෙ දෙවා පසංසන්ති, දුක්කරං හි කරොති සා.
73. කථං නු තාසං හදයං, සුඛරා වත ඉත්ථියො,
යා සාමිකෙ දුක්ඛිතම්බි, සුඛමිච්ඡන්ති අත්තනො.
(වෙස්සන්තර ජා.)
74. ධීරත්ථු කණ්ඩිනං සල්ලං පුරිසං ගාළ්හ වෙධිනං,
ධීරත්ථු තං ජනපදං යත්ථිත්ථි පරිණායිකා,
තෙ චා පි ධික්කිතා සත්තා යෙ ඉත්ථිනං වසං ගතා.
(1 නි. කණ්ඩිණ ජා.)
75. ගොණං ධෙනුඤ්ච යානඤ්ච
භරියං ඤාතිකුලෙ න වාසයෙ
භඤ්ජන්ති රථං අයානකා
අතිවාහෙන හනන්ති පුඞ්ගවං.
(72) කීර්තිමත් වූ යම් ස්ත්‍රියක් සැමියා දිළිඳු වූ කල්හි තොමෝ දිළිඳු වන්නී ද, සැමියා පොහොසත් වූ කල්හි තොමෝ පොහොසත් වන්නී ද, ඒ ස්ත්‍රියට දෙවියෝ පසසති. ඈ දුෂ්කර දෙයක් කරන්නී ය.
(73) යම් ස්ත්‍රීහු සැමියා දුකට පත් කල්හි තමන්ට සැප කැමති වෙත් ද, ඔවුන් ගේ හෘදය කෙසේ ද? අහෝ ඒ ස්ත්‍රීහු ඉතා ක්‍රෑරයෝ ය.
(74) හුල් වූ ඊය තදින් විදින්නා වූ පුරුෂයා හට නින්දා වේවා! යම් ජනපදයක ස්ත්‍රිය කටයුතු විධානය කරන්නී ද ඒ ජනපදයට නින්දා වේවා! යම් සත්ත්ව කෙනෙක් ස්ත්‍රීන් ගේ වසයට පැමිණියාහු ද ඒ සත්ත්වයෝ ද නින්දිතය හ.
(75) ගවයා ද, දෙන ද, රථය ද, භාර්‍ය්‍යාව ද නෑ ගෙදර නො තබන්නේ ය. රථ නැත්තෝ ඒ රථය පරිභෝග කරන්නා හ. පමණට වඩා බර ඇද්දවීමෙන් ගවයා නසන්නා හ.
76. අගුණං ධනුං ඤාතිකුලෙ ච භරියා
පාරං නාවා අක්ඛ භඤ්ජඤ්ච යානං,
දූරෙ මිත්තො පාප සභායකො ච
කිච්චෙ ජාතෙ අනත්ථ චාරිනී භවන්ති.
77. දළිද්දං ආතුරඤ්චා‘ පි ජිණ්ණකං සුරා සොණ්ඩිකං
පමත්තං මුද්ධ පත්තඤ්ච සබ්බ කිච්චෙසු හාපනං,
සබ්බ කාමප්පදානෙන අවජානන්ති සාමිකං.
(76) දුනුදිය නැති දුන්න ද, නෑ ගෙදර වෙසෙන භාර්‍ය්‍යාව ද, පර තෙර තිබෙන නැව ද, අකුර බිඳුණු රථය ද, දුර වෙසෙන මිතුරා ද, පාප මිත්‍රයා ද යන මොහු කරුණක් පැමිණි කල්හි අර්‍ථය සිදු නො කරන්නාහු වෙති.
(77) දිළිඳු වූ ද, රෝගී වූ ද, මහලු වූ ද, සුරාවට ලොල් වූ ද, ප්‍රමත්ත වූ ද, මුග්ධ වූ ද, සකල කෘත්‍යයෙහි ස්ත්‍රියට අනුකූල වන්නා වූ ද, සකල ධනය ස්ත්‍රීන්ට දෙන්නා වූ ද සැමියාට ස්ත්‍රීහු අවමන් කෙරෙති. (නො සලකති.)
78. ආරාමසීලා උය්‍යානං නදි ඤාති පරකුලං
දුස්සමණ්ඩන මනුයුත්තා යාචිත්ථි මජ්ජපායිනි.
79. යාව නිල්ලොකන සිලා යාව පද්වාරඨායිනි,
නවහි එතෙහි ඨානෙනි පදොස මාහරන්ති ඉත්ථියො.
(80 නි. කුණාල ජා.)
80. පදුට්ඨ චිත්තා අහිතානු කම්පිනී
අඤ්ඤෙසු රත්තා අතිමඤ්ඤතෙ පතිං,
ධනෙන කීතස්ස වධාය උස්සුකා
යා එවරඋපා පුරිසස්ස භරියා,
වධකා ච භරියාති ච සා පවුච්චති.
(78-79) සැමියාගෙන් අවසරයක් නැති ව ආරාමයන්ට යන්නා වූ ද, උයන්වලට යන්නා වූ ද, ගඞ්ගා සමීපයට යන්නා වූ ද, නෑ ගෙවලට යන්නා වූ ද, අනුන්ගේ ගෙවලට යන්නා වූ ද, වස්ත්‍ර අලංකාර කිරීමෙහි යෙදෙන්නා වූ ද, මත්පැන් පානය කරන්නා වූ ද, නිතර කවුළු ආදියෙන් පිටත බලන්නා වූ ද, තමා ගේ අවයව දක්වමින් නිතර දොරකඩ වෙසෙන්නා වූ ද ස්ත්‍රීහු මේ කරුණු නවයෙන් සැමියාට වරද කෙරෙති.
(80) යම් භාර්‍ය්‍යාවක් දුෂ්ට සිත් ඇත්තී ද, සැමියාට හිතානුකම්පා නැත්තී ද, අන්‍ය පුරුෂයන් කෙරෙහි ඇලුනී ද සිය සැමියා පහත් කොට සිතා ද, ධනය දී ගන්නා ලද තැනැත්තියක් වන්නී ද, සැමියාට වධ කිරීමට උත්සාහ ඇත්තී ද, පුරුෂයා ගේ එ බඳු වූ භාර්‍ය්‍යාවක් වන්නී නම් ඒ භාර්‍ය්‍යාව වධක භාර්‍ය්‍යාව ය යි කියනු ලැබේ.
81. යං ඉත්තියා වින්දති සාමිකො ධනං
සිප්පං වනිජ්ජඤ්ච කසිං අදිට්ඨහං.
අප්පම්පි තස්මා අපහාතු මිච්ඡති
යා එවරූපා පුරිසස්ස භරියා
චොරී ච භරියාති ච සා පවුච්චති.
82. අකම්ම කාමා අලසා මහග්ඝයා
ඵරුසා ච චණ්ඩී ච දුරුත්තවාදිනී,
උට්ඨායකානං අභිභුය්‍ය වත්තතී
යා එවරූපා පුරිසස්ස භරියා
අය්‍යා ච භරියා ති ච සා පවුච්චති
(81) ස්ත්‍රිය ගේ සැමියා ශිල්පයෙන් හෝ වෙළඳාමෙන් හෝ සී සෑමෙන් හෝ යම් ධනයක් ලබා ද එයින් ස්වල්පයක් හෝ ගනු කැමැත්තී ද පුරුෂයාගේ එ බඳු යම් භාර්‍ය්‍යාවක් වන්නී ද ඈ චෞර භාර්‍ය්‍යාවය යි කියනු ලැබේ.
(82) යම් භාර්‍ය්‍යාවක් තොමෝ වැඩ කිරීමට නො කැමැත්තී ද, අලස ද, බොහෝ ආහාර අනුභව කරන්නී ද, ක්‍රෑර වන්නී ද, බොහෝ කිපෙන්නී ද, පරුෂ වචන කියන්නී ද, පවුල රැකීම සඳහා වීර්‍ය්‍ය කරන්නා වූ ස්වාමි පුරුෂයා යට කර ගෙන වෙසෙන්නී ද පුරුෂයා ගේ එබඳු වූ යම් භාර්‍ය්‍යාවක් වන්නී ද, ඈ ස්වාමිභාර්‍ය්‍යාව ය යි කියනු ලැබේ.
83. යා සබ්බදා හොති හිතානුකම්පිනී
මාතා ච පුත්තං අනුරක්ඛතෙ පතිං,
තතො ධනං සම්භතමස්ස රක්ඛති
යා එවරූපා පුරිසස්ස භරියා
මාතා ච භරියා ති ච සා පවුච්චති.
84. යථා පි ජෙට්ඨෙ භගිනී කණිට්ඨා
සගාරවා හොති සකම්හි සාමිකෙ,
හිරිමතා භත්තු වසානුවත්තිනී
යා එවරූපා පුරිසස්ස භරියා
භගිනී ච භරියා ති ච සා පවුච්චති.
(83) යම් භාර්‍ය්‍යාවක් සෑම කල්හි ම ස්වාමියාට හිතවත් වන්නී ද, අනුකම්පාව ඇත්තී ද, පුත්‍රයකු රක්නා මවක් මෙන් සැමියා ආරක්ෂා කරන්නී ද, ඔහු ගේ රැස් කළ ධනය ආරක්ෂා කරන්නී ද, පුරුෂයා ගේ එ බඳු වූ යම් භාර්‍ය්‍යාවක් වන්නී ද, ඒ භාර්‍ය්‍යා තොමෝ මාතෘ භාර්‍ය්‍යාව ය යි කියනු ලැබේ.
(84) යම් භාර්‍ය්‍යාවක් බාල නැගණිය දෙටු සොහොයුරා කෙරෙහි යම් සේ පවත්නී ද, එසේ තමා ගේ ස්වාමි පුරුෂයා කෙරෙහි ගෞරව සහිත වන්නී ද, ලජ්ජා ඇත්තී ද, සැමියා ගේ කැමැත්තට අනුකූලව හැසිරෙන්නී ද, පුරුෂයා ගේ එබඳු වූ යම් භාර්‍ය්‍යාවක් වන්නී ද, ඕ තොමෝ භගිනි භාර්‍ය්‍යාව ය යි කියනු ලැබේ.
85. යාචීධ දිස්වාන පතිං පමොදති
සඛී සඛාරං ච චිරස්ස මාගතං.
කොලෙය්‍යකා සීලවතී පතිබ්බතා
යා එවරූපා පුරිසස්ස භරියා
සඛී ච භරියාති ච සා පවුච්චති
86. අක්කුද්ධසන්තා වධදණ්ඩ ත ජ්ජිතා
අදුට්ඨ චිත්තා පතිනො තිතික්ඛති,
අක්කොධනා භත්තු වසානවත්තිනී
යා එවරූපා පුරිසස්ස භරියා,
දාසී ච භරියා ති ච සා පවුච්චතී.
(85) යෙහෙළියක් බොහෝ කලකින් ආ යහළුවකු දැක සතුටු වන්නාක් මෙන් යම් භාර්‍ය්‍යාවක් සිය හිමියා දැක සතුටු වන්නී ද, මනා කුල ඇත්තී ද, සිල් ඇත්තී ද, හිමියා දෙවි කොට වසන්නී ද, පුරුෂයා ගේ එ බඳු වූ යම් භාර්‍ය්‍යාවක් වන්නී ද, ඕ තොමෝ සඛී භාර්‍ය්‍යාව ය යි කියනු ලැබේ.
(86) යම් භාර්‍ය්‍යාවක් සිය හිමියා විසින් දණ්ඩක් ගෙන තී මරමි යි තර්ජනය කරන ලද්දී නො කිපෙන්නී ද, ශාන්ත වන්නී ද, අදුෂ්ට සිත් ඇත්තී ද, හිමියා ගේ තර්ජනය ඉවසා ද, ක්‍රෝධ නො කරන්නී ද, හිමියා ගේ කැමැත්ත අනුව පවත්නී ද, පුරුෂයා ගේ එ බඳු යම් භාර්‍ය්‍යාවක් වන්නී ද, ඕ තොමෝ දාශි භාර්‍ය්‍යාව ය යි කියනු ලැබේ.
87. යාචීධ භරියා වධකාති වුච්චති
චොරීච අය්‍යාති ච යා පවුච්චති.
දුස්සීල රූපා ඵරුසා අනාදරා
කායස්ස භෙදා නිරයං වජන්ති.
88. යාචීධ මාතා භගිනි සඛී ච
දාසී ච භරියා ති ච යා පවුච්චති,
සීලෙ ඨිතා නා චිරරත්න සංවුතා
කායස්ස භෙදා සුගතං වජන්ති.
(අංගුත්තර සත්තක නි.)
89. උභො ච හොන්ති දුස්සීලා කදරියා පරිහාසකා,
තෙ හොන්ති ජානිපතයො ඡවා සංවාසමාගතා.
(87) මෙහි යම් භාර්‍ය්‍යාවක් “වධක භාර්‍ය්‍යාව” ය යි කියනු ලබා ද, යම් භාර්‍ය්‍යාවක් “චෞරි භාර්‍ය්‍යාව” යයි ද “ස්වාමි භාර්‍ය්‍යාව” යයි ද කියනු ලබා ද, දුශ්ශිල ස්වභාවය ඇත්තා වූ හිමියාට අනාදර කරන්නා වූ ඒ භාර්‍ය්‍යාවෝ මරණින් මතු නරකයට යෙති.
(88) මෙහි යම් භාර්‍ය්‍යාවක් “මාතෘ භාර්‍ය්‍යාව” ය යි ද, “භගිනි භාර්‍ය්‍යාව” ය යි ද “සඛී භාර්‍ය්‍යාව” ය යි ද “දාශි භාර්‍ය්‍යාව” ය යි ද කියනු ලබා ද, ශීලයෙහි පිහිටියා වූ බොහෝ කලක් වරදින් මිදී වාසය කළා වූ ඒ භාර්‍ය්‍යාවෝ මරණින් මතු සුගතියට යන්නා හ.
(89) යම් පවුලක අඹු සැමි දෙදෙනා ම දුශ්ශීලයෝ වෙත් ද, තද මසුරෝ වෙත් ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රෝශ කරන්නෝ වෙත් ද, ඒ අඹු සැමියෝ එක්ව විසීමට පැමිණියා වූ ගුණය මළ බැවින් මළ තැනැත්තෝ ය.
90. සාමිකො හොති දුස්සීලො කදරියො පරිහාසකො,
භරියා සීලවතී හොති වදඤ්ඤු විතමච්ඡරා
සාපි දෙවී සංවසති ඡවෙන පතිනා සහ.
91. සාමිකො සීලවා හොති වදඤ්ඤු වීත මච්ඡරො,
භරියා හොති දුස්සීලා කදරියා පරිහාසිකා
සාපි ඡවා සංවසති දෙවෙන පතිනා සහ.
92. උභො සද්ධා වදඤ්ඤූ ච සඤ්ඤාතා ධම්මජීවිනො,
තෙ හොන්ති ජානි පතයො අඤ්ඤමඤ්ඤං පියං වදා.
(90) හිමියා දුශ්ශීල වේ ද, තද මසුරු වේ ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රෝශ කරන්නේ වේ ද, භාර්‍ය්‍යාව සිල්වත් වන්නී ද, දෙන සුලු තැනැත්තියක් වන්නී ද, නො මසුරු තැනැත්තියක් වන්නී ද, ඒ දේවිය ගුණ මරණයෙන් මළ හිමියකු හා එක් ව වසන්නී ය.
(91 හිමියා සිල්වත් වේ ද දෙන සුලු වේ ද නො මසුරු වේ ද, භාර්‍ය්‍යාව දුශ්ශීල වන්නී ද, තද මසුරු එකියක් වන්නී ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රෝශ කරන තැනැත්තියක් වන්නී ද, ඒ ගුණ මරණයෙන් මළ භාර්‍ය්‍යාව ගුණයෙන් දෙවි වූ හිමියා හා එක්ව වසන්නී ය.
(92) අඹු සැමි දෙදෙනා ම සැදැහැවත් වෙත් ද, දෙන සුලු වෙත් ද, ශීලයෙන් යුත්ත වෙත් ද, දැහැමින් ජීවත් වන්නෝ වෙත් ද ඒ අඹු සැමියෝ ඔවුනොවුන් හා ප්‍රිය කථා ඇත්තෝ වෙති.
93. අත්ථා සම්පචුරා හොන්ති ඵාසත්ථං උපජායතී,
අමිත්තා දුම්මනා හොන්ති උභින්තං සමසීලිනං.
94. ඉධ ධම්මං චරිත්වාන සමසීලබ්බතා උභො,
නන්දිනො දෙවලොකම්හි මොදන්ති කාම කාමිනො
(අංගුත්තර චතුක්ක නි.)
95. න සාධාරණ දාරස්ස න භුඤ්ජෙ සාදු මෙකකො,
න සෙවෙ ලොකායතිකං නෙතං පඤ්ඤාය වද්ධනං.
96. සීලවා වත්ත සම්පන්නො අප්පමත්තො විචක්ඛණො,
නිවාත වුත්ති අත්ථද්ධො සුරතො සඛිලො මුදු.
(93) ඔවුන්ට අර්ථයෝ (ධනය) බොහෝ වෙත්. පහසුවෙන් විසිය හැකි වේ. සමාන සිල් ඇත්තා වූ ඒ දෙදෙනා ගේ සතුරෝ නො සතුටු සිත් ඇත්තෝ වෙති.
(94) සමාන ශීලව්‍රත ඇත්තා වූ ඒ දෙදෙන මේ ලෝකයෙහි ධර්මයෙන් හැසිර මරණින් මතු දිව්‍යලෝකයෙහි කාමයන් කැමති වෙමින් සතුටු වන්නාහ.
(95) සාධාරණ භාර්‍ය්‍යා ඇත්තෙක් නො වන්නේ ය. මිහිරි වූ බොජුන් අන්‍යයන්ට නො දී තෙමේ ම නො වළඳන්නේ ය, අනර්ථකාරී වූ ලෝකායතවාදය සේවනය නො කරන්නේ ය. එය නුවණ වඩන්නක් නො වේ.
(96) සිල් ඇතියෙක් වන්නේ ය. වතින් සම්පූර්‍ණ කෙනෙක් වන්නේ ය. ප්‍රමාද නො වන්නෙක් වන්නේ ය. නුවණැතියෙක් වන්නේ ය. අතිමානය නැති යටහත් පැවතුම් ඇතියෙක් වන්නේ ය. නො තද වන්නේ ය. පවින් වැළකුණු එකෙක් වන්නේ ය. ප්‍රිය කථා ඇතියෙක් වන්නේ ය. මෘදු එකෙක් වන්නේ ය.
97. සඞ්ගහෙතා ච මිත්තානං සංවිභාගී විධානවා,
තප්පෙය්‍ය අන්න පානෙන සදා සමණ බ්‍රාහ්මණෙ.
98. ධම්ම කාමො සුතාධාරො භවෙය්‍ය පරිපුච්ඡකො,
සක්කච්චං පයිරුපාසෙය්‍ය සීලවන්තෙ බහුස්සුතෙ.
99. ඝරමාවසමානස්ස ගහට්ඨස්ස සකං ඝරං,
ඛෙමා වුත්ති සියා එවං එවං නු අස්ස සඞ්ගහො.
100. අව්‍යාපජ්ඣා සියා එවං සච්චවාදී ච මාණවො,
අස්මා ලොකා පරං ලොකං එවං පෙච්ච න සොවති.
(විධුර ජා.)
පඤ්චමං සතකං
(97) මිතුරන්ට සංග්‍ර කරන්නෙක් ද, දියයුත්තනට බෙදා දෙන්නෙක් ද, කටයුතු විධානය කරන්නට දන්නෙක් ද වන්නේ ය. හැම කල්හි ම ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආහාර පානයෙන් සන්තර්පණය කරන්නේ ය.
(98) ධර්‍මකාමියෙක් ද ශ්‍රැතයට ආධාර වූයෙක් ද කළ යුතු නො කළ යුතු දෑ පිළිබඳ ව පිළිවිසීම් කරන්නෙක් ද වන්නේ ය. සිල්වතුන් හා බහුශ්‍රැතයන් ගෞරවයෙන් ඇසුරු කරන්නේ ය.
(99) ගිහි ගෙයි වාසය කරන්නා හට මෙසේ ස්වකීය ගෘහය භය රහිත වන්නේ ය. මෙසේ හැසිරීමෙන් ඔහු විසින් චතුර්විධ සංග්‍රහය ද කරන ලද්දේ වන්නේ ය.
(100) මිනිස් තෙමේ මෙසේ කිරීමෙන් නිදුක් වන්නේ ය, සත්‍යවාදී ද වන්නේ ය. මෙසේ කළ තැනැත්තේ මරණින් පසු මේ ලෝකයෙන් පරලොව ගියේ ශෝක නො කරන්නේ ය.
පඤ්චම ශතකය
නිමි.
1. බ්‍රහ්මාති මාතාපිතරො පුබ්බාචරියා ති වුච්චරෙ,
ආහුණෙය්‍යා ච පුත්තානං පජාය අනුකම්පකා
තස්මාහි තෙ නමස්සෙය්‍ය සක්කරෙය්‍යාථ පණ්ඩිතො.
2. අන්නෙන අථ පානෙන වත්ථෙන සයනෙන ච,
උච්ඡාදනෙන නහාපනෙන පාදානං ධොවනෙන ච.
3. තාය නං පරිචරියාය මාතාපිතුසු පණ්ඩිතො,
ඉධෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ පමොදති.
(අංගුත්තර තික නි.)
4. අතිජාතං අනුජාතං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා,
අවජාතං න ඉච්ඡන්ති සො හොති කුලගන්ධනො.
(1) මාපියෝ බ්‍රහ්මයෝ ය යි ද, පූර්‍වාචාර්‍ය්‍යයෝ ය යි ද, දරුවන් විසින් බොහෝ දුර ගෙන ගොස් වුව ද දීමට සුදුස්සෝ ය යි ද, දරුවන්ට අනුකම්පා කරන්නෝ ය යි ද, කියනු ලැබෙත්. එබැවින් නුවණැත්තෝ ඔවුනට නමස්කාර කරන්නේ ය. සත්කාර කරන්නේ ය.
(2-3) ආහාරයෙන් ද, පානයෙන් ද, වස්ත්‍රයෙන් ද, ශයනයෙන් ද, දුගඳ දුරු කරන දෙය ඇඟ ගැල්වීමෙන් ද, නෑවීමෙන් ද, පා සේදීමෙන් ද නුවණැත්තේ ඔවුනට සත්කාර කරන්නේ ය. මාපියනට කරන ඒ සත්කාරය නිසා එය කරන්නා හට මෙ ලොව නුවණැත්තෝ පසසති. හෙ තෙමේ මරණින් මතු ද ඒ පිනින් දෙව්ලොව ඉපද සතුටු වේ.
(4) පණ්ඩිත වූ මාපියෝ අතිජාත පුත්‍රයා ද අනුජාත පුත්‍රයා ද කැමති වෙති. අවජාත පුත්‍රයා නො කැමති වෙති. හෙ තෙමේ කුලය නසන්නේ ය.
5. එතෙ ඛො පුත්තා ලොකස්මිං යො භවන්ති උපාසකා
සද්ධා සීලෙන සම්පන්නා වදඤ්ඤු වීතමච්ඡරා,
චන්දො ව අබ්භනා මුත්තො පරිසාසූ වීරොචරෙ.
(ඉති වුත්තක)
6. පඤ්ච ඨානානි සම්පස්සං පුත්තං ඉච්ඡන්ති පණ්ඩිතා,
භතා වා නො භරිස්සන්ති කිච්චං වා නො කරිස්සති.
7. කුලවංසො චිරං ඨස්සති දායජ්ජං පටිපජ්ජති,
අථවා පන පෙතානං දක්ඛිණං අනුපදස්සති.
8. ඨානානෙතානි සම්පස්සං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා,
තස්මා සන්තො සප්පුරිසා කතඤ්ඤු කතවෙදිනො.
9. භරන්ති මාතා පිතරො පුබ්බෙ කත මනුස්සරං,
කරොන්ති තෙසං කිච්චානි යථා තං පුබ්බකාරිනං.
(5) ලෝකයේ පුත්‍රයෝ ඒ අතිජාතාදී තිදෙන ය. (ඔවුන් හැර තවත් පුත්‍රයෝ නැත හ.) ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ දෙන සුලු වූ මසුරු බව දුරු කළා වූ යම් උපාසක කෙනෙක් වෙත් ද ඔවුහු වලාකුළින් මිදුණා වූ චන්ද්‍රයා මෙන් පිරිස්වල බබලති.
(6-7) නුවණැති මාපියෝ කරුණු පසක් බලමින් පුත්‍රයන් කැමති වන්නාහ. අප විසින් පෝෂණය කරන ලද්දා වූ දරුවෝ මහළු කාලයේ දී අප පෝෂණය කරන්නාහු ය, තමන්ගේ කටයුතු නවත්වා ද අපේ කටයුතු කරන්නා හ, ඔවුන් නිසා අප ගේ කුලපරම්පරාව බෝ කල් පවත්නේ ය, අපගේ දායාදය නො නසා පවත්වන්නාහ, අප පරලොව ගිය පසු පින් කොට අපට පින් පමුණු වන්නා හ.
(8-9) පණ්ඩිතයෝ මේ කරුණු බලමින් පුත්‍රයන් කැමති වන්නාහ. එබැවින් අනුන් කළගුණ දැන ප්‍රත්‍යුපකාර කරන්නා වූ සත්පුරුෂයෝ පෙර කළ උපකාරයන් සිහි කරමින් මාපියන් පෝෂණය කරන්නා හ. පෙර උපකාර කළා වූ ඔවුන් ගේ වැඩ කරන්නාහ.
10. ඔවාද කාරී භත පොසී කුලවංසං අහාපයං,
සද්ධෙ සීලෙන සම්පන්නො පුත්තො හොති පසංසීයො.
(අංගුත්තර 5 නි.)
11. මාතා පිතා ච භාතා ච භගිනී ඤාති බන්ධවා,
සබ්බේ ජෙට්ඨස්ස තෙ භාරා එවං ජානාහි භාතර.
(70 නි. සෝණනන්ද ජා.)
12. යස්සා හි ධම්මං පුරිසො විජඤ්ඤා
යෙ චස්ස කඩ්ඛං විනයන්ති සන්තො
තං හිස්ස දීපඤ්ච පරායණඤ්ච
න තෙන මිත්තිං ජරයෙථ පඤ්ඤො.
(80. නි මහා සුතසෝම ජා.)
(10) අවවාදය පරිදි ක්‍රියා කරන්නා වූ, තම පෝෂණය කළ මාපියන් පෝෂණය කරන්නා වූ, කුල වංශය නො පිරිහෙවන්නා වූ, ශ්‍රද්ධාවත් වූ, ශීලයෙන් යුක්ත වූ පුත්‍ර තෙමේ ප්‍රශංසා කළ යුත්තෙක් වේ.
(11) රටේ බර උසුලන රජතුමාණනි, මව ද පියා ද සහෝදරයා ද සහෝදරිය ද නෑයෝ ද යන ඒ සියල්ලෝ ම වැඩිමහලු පුත්‍රයාට භාර ය. ඒ බව දනු මැනව.
(12) පුරුෂ තෙමේ යමකු ගෙන් හොඳ නරක දැන ගන්නේ ද, යම් සත්පුරුෂ කෙනෙක් ඔහු ගේ සැක දුරු කෙරෙත් ද, ඒ ආචාර්‍ය්‍ය කුලය පිහිටකි. නුවණැත්තේ ඒ ආචාර්‍ය්‍ය කුලය හා මිත්‍රත්ත්වය නො බිඳ ගන්නේ ය.
13. එරණ්ඩා පුචිමන්දා වා අථවා පාළිභද්දකා,
මධුං මධුත්ථිකො වින්දෙ සො හි තස්ස දුමුත්තමො.
14. ඛත්තියා බ්‍රාහ්මණා වෙස්සා සුද්දා චණ්ඩාල පුක්කුසා,
යස්මා ධම්මං විජානෙය්‍ය සො හි තස්ස නරුත්තමො.
(13 නි. අම්බ ජා.)
15. නිධීනං ව පවත්තාරං යං පස්සෙ වජ්ජ දස්සිනං,
නිග්ගය්හ වාදිං මෙධාවිං තාදිසං පණ්ඩිතං භජෙ
තාදිසං භජමානස්ස සෙය්‍යො හොති න පාපියො.
(13) එරඬු ගසකින් හෝ වේ වා කොසඹ ගසකින් හෝ වේවා එරබදු ගසකින් හෝ වේ වා වනයෙහි මී සොයන තැනැත්තා මී ලබා නම් ඒ ගස ඔහුට උතුම් ගසෙකි.
(14) ක්‍ෂත්‍රියයකු ගෙන් හෝ වේ වා බ්‍රාහ්මණයකුගෙන් හෝ වේ වා ශුද්‍රයකු ගෙන් හෝ වේ වා චණ්ඩාලයකුගෙන් හෝ වේ වා කසල ඉවත් කරන්නකු ගෙන් හෝ වේ වා යමකු ගෙන් හොඳ නරක දැනගන්නේ ද හෙතෙමේ ඔහුට උතුම් මිනිසෙකි.
(15) දුගියන්ට කරුණාවෙන් නිධන් දක්වන්නකු වැනි වූ මෙරමා වරද දක්නා සුලු වූ, වරද කළ අයට කරුණාවෙන් ම නිග්‍රහ කොට අවවාදානුශාසනා කරන්නා වූ, නුවණැත්තා වූ පණ්ඩිත වූ තැනැත්තා භජනය කරන්නේ ය. එ බඳු පණ්ඩිතයකු භජනය කරන්නා වූ අතවැසියාට දියුණුව ම වේ. පිරිහීමක් නො වේ.
16. ඔවදෙය්‍යානුසාසෙය්‍ය අසබ්භා ච නිවාරයෙ,
සතං හි සො පියො හොති අසතං හොති අප්පියො.
(ධ. පණ්ඩිත වග්ග)
17. යො අත්ථකාමස්ස හිතානුකම්පිනො
ඔවජ්ජමානො න කරොති සාසනං,
එවං සො නිහතො සෙති
වෙළුකස්ස යථා පිතා.
(1 නි. වෙළුක ජා.)
18. යෙ න කාහන්ති ඔවාදං නරා බුද්ධෙන දෙසිතං,
ව්‍යාසනං තෙ ගමිස්සන්ති රක්ඛසීහි‘ ව වාණිජා.
(16) පරහට අවවාද කරන්නේ ය. අනුශාසනා කරන්නේ ය. එසේ කරන තැනැත්තා සත්පුරුෂයන්ට ප්‍රිය වේ. අසත්පුරුෂයන්ට අප්‍රිය වේ.
(17) අභිවෘඬියට කැමැත්තා වූ හිතයෙන් අනුකම්පා කරන්නා වූ තැනැත්තා ගේ අනුශාසනයට අවවාද ලබන්නා වූ යම් කෙනෙක් නො පිළි ගනිත් ද, ඔවුහු ‘වේළුක’ නම් සර්පයා ගේ පියා වූ තවුසා මෙන් මෙ සේ නසනු ලැබ නිදන්නාහ.
(18) යම් මනුෂ්‍ය කෙනෙක් බුදුන් වහන්සේ විසින් දේශිත අවවාදය නො කෙරෙත් ද, ඔව්හු රකුසියන් විසින් ලෝභ කරවා නසනු ලැබූ වෙළඳුන් මෙන් ව්‍යසනයට පැමිණෙන්නාහ.
19. යෙ ච කාහන්ති ඔවාදං නරා බුද්ධෙන දෙසිතං,
සොත්ථිං පාරං ගමිස්සන්ති වාලාහෙනෙව වාණිජා.
(2 නි. වාලස්ස ජා.)
20. යා යෙ ව අනුසාසනියා රාජා ගාම වරං අදා
තා යෙ ව අනුසාසනියා නාවිකො පහරී මුඛං.
(6 නි. ආචාරිය ජා.)
21. අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයෙ,
අථඤ්ඤ මනුසාසෙය්‍ය න කිලිස්සෙය්‍ය පණ්ඩිතො.
(ධ. අත්ත වග්ග)
(19) යම් මිනිස් කෙනෙක් බුදුන් වහන්සේ විසින් දේශිත අවවාදය කෙරෙත් ද ඔවුහු වාලාහශ්වරාජයා විසින් මුහුදින් එතර කරනු ලැබූ වෙළඳුන් මෙන් අන්තරායක් නැතිව නිවනට පැමිණෙන්නාහ. (වාලාහස්ස ජාතකය බලනු.)
(20) යම් අනුශාසනයක් නිසා රජ තෙමේ අනුශාසනය කළ තාපසයන්ට ගමක් තෑගි කොට දුන්නේ ද, ඒ අනුශාසනය ම කිරීම නිසා මෝඩ නාවිකයා ඒ තාපසයන් ගේ මුහුණට පහරදින. (ආචාරිය ජාතකය බලනු)
(21) තමා ම පළමු කොට සුදුසු ගුණයෙහි පිහිට වන්නේ ය. ඉන් පසු අන්‍යයන්ට අනුශාසනය කරන්නේ ය. තමා ගුණයෙහි නො පිහිටා අනුන්ට අනුශාසනය කරන්නට ගොස් නින්දා ලබා කිලිටි නො වන්නේ ය.
22. යෙ වද්ධමපචායන්ති නරා ධම්මස්ස කොවිදා,
දිට්ඨෙ ව ධම්මෙ පාසංසා සම්පරායෙ ච සුග්ගති.
(1 නි. තිත්තිර ජා.)
23. ගවං චෙ තරමානානං ජිම්හං ගච්ඡති පුඞ්ගවො,
සබ්බා ගාවී ජිම්හං යන්ති නෙත්තෙ ජිම්හං ගතෙ සති.
24. එව මෙව මනුස්සෙසු යො හොති සෙට්ඨ සම්මතො
සො චෙ අධම්මං චරති පගෙව ඉතරා පජා,
සබ්බං රට්ඨං දුක්ඛං සෙති රාජා වෙ හොති අධම්මිකො.
25. ගවං චෙ තරමානානං උජුං ගච්ඡති පුඞ්ගවො,
සබ්බා ගාමී උජුං යන්ති නෙත්තෙ උජු ගතෙ සති.
(22) වෘඬාපචායන ධර්‍මයෙහි දක්‍ෂ වූ යම් කෙනෙක් වෘඬාපචායන කර්‍මයෙන් වෘඬයන් පුදත් ද, ඔව්හු මේ ආත්මයේ දී ප්‍රශංසා කළ යුත්තෝ වෙති. ඔවුනට මරණින් මතු පැමිණිය යුතු තැන ද සුගතිය වේ.
(23) ගඟක් තරණය කරන්නා වූ ගවයන් අතුරෙන් ඉදිරියේ යන ගොණා ඉදින් වක්ව යේ නම් ප්‍රධාන ගවයා වක් ව ගිය කල්හි සියලු ම දෙන්නු වක් ව යෙති.
(24) එ පරිද්දෙන් ම මනුෂ්‍යයන් අතර යමෙක් ශ්‍රේෂ්ඨය යි සම්මත ද ඉදින් හේ අධර්‍මය කෙරේ ද, අන්‍ය සාමාන්‍ය මනුෂ්‍යයෝ පළමුකොට ම අධර්‍ම කරන්නට පටන් ගනිති. ඉදින් රජ අධාර්මික වේ නම් මුළු රට ම දුකට පත් වේ.
(25) ගඟක් තරණය කරන්නා වූ ගවයන් අතුරෙන් ඉදිරියේ යන ප්‍රධාන ගවයා ඉදින් සෘජුව යේ නම්, ඉදිරියේ යන ගවයා සෘජුව යන කල්හි සියලු දෙන්නු ද සෘජුව ම යෙති.
26. එව මෙව මනුස්සෙසු යො හොති සෙට්ඨ සම්මතො
සො චෙ පි ධම්මං චරති පගෙව ඉතරා පජා
සබ්බං රට්ඨං සුඛං සෙති රාජා චෙ හොති ධම්මිකො.
(4 නි. රාජෝවාද ජා.)
27. න දිට්ඨා පරතො දොසං අණුං ථුලානි සබ්බසො,
ඉස්සරො න පණයෙ දණ්ඩං සාමං අප්පටිවෙක්ඛිය.
28. සො ච අප්පටිවෙක්ඛිත්වා දණ්ඩං කුබ්බති ඛත්තියෙ,
සකණ්ඨකං සො ගිලති ජච්චන්ධොව සමක්ඛිකං.
29. අදණ්ඩියං දණ්ඩයති දණ්ඩියඤ්ච අදණ්ඩයං,
අන්ධො ව විසමං මග්ගං න ජානාති සමාසමං.
(26) එ පරිද්දෙන්ම මනුෂ්‍යයන් අතර යමෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ ද ඉදින් හේ ධර්‍මය කෙරේ නම් ඉතිරි අය පළමු වෙන් ම ධර්‍මය කරන්නා හ. ඉදින් රජ ධාර්මික වේ නම් මුළු රට ම සුඛිත වන්නේ ය.
(27) අනුන් ගේ දෝෂය නො දැක කුඩා වූ ද මහත් වූ ද සියලු වරද තමා විසින් ම ප්‍රත්‍යක්‍ෂ කර නො ගෙන රජ තෙමේ පරහට දඬුවම් නො පනවන්නේ ය.
(28) යම් රජෙක් වරද ප්‍රත්‍යක්‍ෂ කර නො ගෙන මෙරමා හට දඬුවම් කෙරේ ද හෙ තෙමේ මැස්සන් සහිත භෝජනය වළඳන්නා වූ ජාත්‍යන්ධයකු මෙන් කටු සහිත බොජුනක් වළඳන්නේ ය.
(29) යමෙක් දඬුවම් කළ යුත්තාට දඬුවම් නො කොට දඬුවම් නො කළ යුත්තාට දඬුවම් කොට තමාගේ කැමැත්තක් ම කෙරේ ද හෙ තෙමේ විෂම මාර්ගයකට බැස ගත් අන්ධයකු මෙනි. සම විෂම බව නො දැන ගල්මුල් ආදියේ පැකිල අන්ධයා වැටෙන්නාක් මෙන් අපායට වැටී මහ දුක් විඳින්නේ ය.
30. යො ච එතානි ඨානානි අණුං ථුලානි සබ්බසො,
සුදිට්ඨං චානුසාසෙය්‍ය ස වෙ වොහාරිකුත්තමො.
31. නෙකන්ත මුදුනා සක්කා එකන්ත තිඛිණෙන වා,
අත්තං මහත්තෙ ඨපෙතුං තස්මා උභය මාචරෙ.
32. පරිභූතො මුදු හොති අතිතික්ඛො ච වෙරවා,
එතඤ්ච උභයං ඤත්වා අනුමජ්ඣං සමාචරෙ.
(12 නි. මහාපදුම ජා.)
33. බලං පඤ්ච විධං ලොකෙ පුරිසස්මිං මහග්ගතෙ,
තත්ථ බාහු බලං නාම චරිමං වුච්චතෙ බලං.
(30) යමෙක් ඒ දඬුවම් කළ යුතු නො කළ යුතු කරුණු හා දඬුවම් කළ යුතු කරුණු වල සියලු කුඩා මහත් කම් ද මනා කොට දැන අනුශාසනය කෙරේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් රාජ්‍යානුශාසනයට සුදුසු වූ උතුම් විනිශ්චයකාරයා ය.
(31) සැම කල්හි ම මෘදු වීමෙන් ද, සැම කල්හි ම තදින් විසීමෙන් ද, ආත්මය මහත් බැව්හි නො තැබිය හැකි ය. එ බැවින් අවස්ථාවට සුදුසු සේ දෙයාකාරයෙන් ම හැසිරෙන්නේ ය. (මෘදු විය යුතු අවස්ථාවේ මෘදු විය යුතු ය. තදින් ක්‍රියා කළ යුතු අවස්ථාවේ දී එසේ කළ යුතු ය.)
(32) සෑම කල්හි ම මෘදු වූයේ සෙස්සන් විසින් අවමන් කරනු ලබන්නේ වේ. ඉතා තදවූයේ සතුරන් ඇත්තේ වන්නේ ය. ඒ දෙකරුණ දැන මධ්‍යයෙහි හැසිරෙන්නේ ය.
(33) මේ ලෝකයෙහි මහාද්ධ්‍යාශය ඇති පුරුෂයා කෙරෙහි පඤ්ච ප්‍රකාර බලයක් ඇත්තේ ය. ඒ බලයන් අතුරෙන් බාහු බලය (ශරීරශක්තිය) හීන බලය යි කියනු ලැබේ.
34. භොග බලඤ්ච දීඝාවු දුතියං වුච්චතෙ බලං
අමච්ච බලඤ්ච දීඝාවු තතියං වුච්චතෙ බලං.
35. අහිජච්ච බලඤ්චෙ ව තං චතුත්ථං අසංසයං,
යානි එතානි සබ්බානී අධිගණ්හාති පණ්ඩිතො.
36. තං බලානං බලසෙට්ඨං අග්ගං පඤ්ඤා බලං වරං,
පඤ්ඤා බලෙනූ පත්ථද්ධො අත්ථං වින්දති පණ්ඩිතො.
37. පඤ්ඤා සුතං විනිච්ඡිනී
පඤ්ඤා කිත්ති සිලොක වඩ්ඪනී,
පඤ්ඤාය සහිතො නරො
ඉධ අපි දුක්ඛෙ සුඛානි වින්දති.
(34) භෝග බලය හෙවත් ධන බලය දෙවන බලය යි කියනු ලැබේ. අමාත්‍ය බලය තුන්වන බලයයි කියනු ලැබේ.
(35) උසස් ව ඉපදීමේ බලය සතරවැනි බලය යි. යමක් කරණ කොට පණ්ඩිත මිනිසා ඒ සියලු බලයන් අභිභවනය කෙරේ ද-,
(36) ඒ ප්‍රඥාබලය බලයන්ට ශ්‍රේෂ්ඨ බලය ය. අග්‍ර බලය ය. ප්‍රඥාබලයෙන් උපස්ථම්භනය ලැබූ පණ්ඩිත තෙමේ අභිවෘඬියට පැමිණේ.
(37) ප්‍රඥාව ඇසූ දෙය විනිශ්චය කරන්නේ ය. ප්‍රඥාව කීර්තිය හා ලාභ සත්කාර වඩන්නේ ය. ප්‍රඥාව සහිත මනුෂ්‍යයා දුකෙහි ද සුව විඳී.
38. භුජඞ්ගමං පාවකඤ්ච ඛත්තියඤ්ච යසස්සිනං,
භික්ඛුඤ්ච සීලසම්පන්නං සම්මදෙව සමාචරෙ.
(කෝසල සංයුත්ත)
39. දදං පියො හොති භජන්ති නං බහුං
කිත්තිඤ්ච පප්පොති යසොභි වඩ්ඪති,
අමංකුභුතො පරිසං විගාහති
විසාරදො හොති නරො අමච්ඡරී.
40. තස්මා හි දානානි දදන්ති පණ්ඩිතා
විනෙය්‍ය මච්ඡෙර මලං සුඛෙසිනො
තෙ දීඝරත්තං තිදිවෙ පතිට්ඨිතා
දෙවානං සහව්‍යතං ගතා රමන්ති
(අංගුත්තර පඤ්චක නි.)
(38) සර්පයා ද ගින්න ද යසස් ඇති රජකුමරා ද සිල්වත් භික්‍ෂුව ද යන මොවුන් කෙරෙහි මනා කොට හැසිරෙන්නේ ය. (කුඩාය කියා අවමන් නො කරන්නේ ය.)
(39) දෙන තැනැත්තේ ජනයාට ප්‍රිය වේ. බොහෝ දෙන ඔහු භජනය කෙරෙති. කීර්තියට ද පැමිණේ. ඔහුට යසස වැඩේ. හේ තේජස් ඇති ව පිරිසට එළඹේ. නො මසුරු මිනිසා පිරිසේ දී නිර්භීත වේ.
(40) එබැවින් සැප සොයන්නා වූ පණ්ඩිතයෝ මසුරු මල දුරු කොට දන් දෙති. දෙවියන් ගේ යහළු බවට ගියා වූ ඔව්හු දෙව් ලොව දීර්ඝකාලයක් පිහිටියාහු සතුටු වෙති.
41. යස්සෙව භීතො න දදාති මච්ඡරී තදෙවා දදතො භයං
ජිගච්ඡා ච පිපාසා ච යස්ස භායති මච්ඡරී,
තමෙ ව බාලං ඵුසති අස්මිං ලොකෙ පරම්හි ච.
42. අප්පස්මෙකෙ පවෙච්ඡන්ති බහුනෙ කෙ න දිච්ඡරෙ,
අප්පස්මා දක්ඛිණා දින්නා සහස්සෙන සමං මිතා.
(දේවතා සංයුත්ත)
43. න ජච්චා බ්‍රාහ්මණො හොති න ජච්චා හොති අබ්‍රාහ්මණො,
කම්මනා බ්‍රාහ්මණො හොති කම්මනා හොති අබ්‍රාහ්මණො.
(41) මසුරා යමකට බියෙන් පරහට නො දේ ද, නො දෙන්නා වූ ඔහුට ඇති වන බිය ද එය ම ය. එ නම් සාගින්න හා පිපාශාව ය. මසුරා යමකට බිය වේ ද, මේ ලෝකයෙහි ද පරලෙව්හි ද නො දෙන්නා වූ බාලයා කරා ඒ සාගින්න හා පිපාශාව ම එන්නේ ය.
(42) ඇතැමෙක් තමාට ස්වල්ප වස්තුවක් ඇති කල්හි ද එයින් දෙති. ඇතැමෙක් තමන්ට ඇති බොහෝ වස්තුවෙන් ද ස්වල්පයකුදු නො දෙති. ස්වල්ප වූ දෙයින් දෙන ලද්දා වූ දක්‍ෂිණාව දහසින් ප්‍රමාණ කරන ලද්දේ ය. (ස්වල්පයක් ඇතියකු ගේ එකක් දීමත් පොහොසතකු ගේ දහසක් දීම වැනි ය.)
(43) ජාතියෙන් බ්‍රාහ්මණ නො වේ, ජාතියෙන් අබ්‍රාහ්මණ ද නොවේ. කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ, කර්‍මයෙන් අබ්‍රාහ්මණ වේ.
44. කස්සකො කම්මනා හොති සිප්පිකො හොති කම්මනා
වානිජො කම්මනා හොති පෙස්සකො හොති කම්මනා.
45. චොරො පි කම්මනා හොති යොධාජීවො පි කම්මනා
යාජකො කම්මනා හොති රාජා පි හොති කම්මනා.
46. එවමෙතං යථාභූතං කම්මං පස්සන්ති පණ්ඩිතා,
පටිච්ච සමුප්පාද දසා කම්ම විපාක කොවිදා.
47. කම්මනා වත්තතෙ ලොකො කම්මනා වත්තතෙ පජා
කම්මනිබන්ධනා සත්තා රථස්සානී ච යායතො
(මජ්ඣිම නිකාය වාසෙට්ඨ සුත්ත)
(44) කර්‍මයෙන් ගොවියෙක් වේ. කර්‍මයෙන් ශිල්පියෙක් වේ. කර්‍මයෙන් වෙළෙන්දෙක් වේ. කර්‍මයෙන් දාශයෙක් වේ.
(45) සොරෙක් ද කර්‍මයෙන් වේ, හේවායෙක් ද කර්‍මයෙන් වේ, යාගකරන්නෙක් ද කර්‍මයෙන් වේ, රජ ද කර්‍මයෙන් වේ.
(46) පටිච්චසමුප්පාදය දක්නා වූ කර්‍ම විපාකයෙහි දක්‍ෂ වූ පණ්ඩිතයෝ මෙ සේ මේ කර්‍මය තත්ත්වාකාරයෙන් දකිති.
(47) ලෝකය කර්‍මයෙන් පවතී. සත්ත්ව සමූහය කර්‍මයෙන් පවතී. යන්නා වූ රථයේ කඩ ඇණය මෙන් සත්ත්වයෝ කර්‍මයෙන් බඳනා ලද්දෝ ය.
48. ආයුං ආරොගියං වණ්ණං සග්ගං උච්චා කුලීනතං,
රතියො පත්ථයන්තෙන උළාරා අපරා පරෙ.
49. අප්පමාදං පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා,
අප්පමත්තො උභො අත්ථෙ අධිගණ්හාති පණ්ඩිතො.
50. දිට්ඨෙව ධම්මෙ යොචත්ථො යොචත්ථො සම්පරායිකො,
අත්ථාභි සමයා ධිරො පණ්ඩිතො ති පවුච්චති.
(කෝසල සංයුත්ත)
51. අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං,
අප්පමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා.
(ධ. අප්පමාද වග්ග)
උත්තර පණ්ණාසකං.
බුද්ධනීති සඞ්ගහො නිට්ඨිතො.
(48-49) ආයුෂය ද, නිරෝගී බව ද, මනා ශරීර වර්ණය ද, ස්වර්ගය ද, උසස් කුල ඇති බව ද, උසස් වූ තවත් කාම සම්පත්තීහු ද යන මේවා පතන්නහු විසින් පුණ්‍යක්‍රියා විෂයෙහි අප්‍රමාදය පණ්ඩිතයෝ පසසති. අප්‍රමත්ත වූ පණ්ඩිත තෙමේ උභයාර්ථය ලබා ගන්නේ ය.
(50) ඉහතාත්මයෙහි ලැබිය යුතු යම් අර්ථයක් වේ ද, පරලොව ලැබිය යුතු යම් අර්ථයක් වේ ද, ඒ අර්ථයන් ලැබීම නිසා ධෛර්‍ය්‍යවත් වූ තැනැත්තේ පණ්ඩිත ය යි කියනු ලැබේ.
(51) අප්‍රමාදය නිවන් ලැබීමට කරුණෙකි. ප්‍රමාදය මරණයට කරුණෙකි. නො පමා වූවෝ නො මියෙති. පමා වූවෝ මළවුන් වැනි වෙති.
උත්තර පණ්ණාසකය යි.
බුද්ධනීති සංග්‍රහය නිමි.