බෝධිපාක්ෂික ධර්ම විස්තරය
රේරුකානේ චන්දවිමල හිමි
පටුන
පටුන

බෝධිපාක්ෂික ධර්ම විස්තරය

(නව වන මුද්‍ර‍ණය)

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.

සංඥාපනය

ලෝකයා විසින් අවිද්‍යාව නිසා සත්ත්ව පුද්ගල ආත්මාදි වශයෙන් සලකා ඇලුම් කරන මේ පඤ්චස්කන්ධය වනාහි මන්දාස්වාදයක් ඇති මහා දුඃඛස්කන්ධයෙකි. මහා ආදීනව රාශියකි. නො දිරා පවත්වා ගැනීම සඳහා ආහාර - පාන බෙහෙත් ආදියෙන් කෙසේ පෝෂණය කළත් පඤ්චස්කන්ධය නො නැවතීම දිර දිරා යන්නේ ය. එයින් ලේ මස් අඩු වී නහර ඉල්පී, සම රැලි ගැසී, දුර්වර්ණ වී, කුදු ගැසී, කෙස් රැවුළු පැසී, දත් වැටී, විරූපත්වයට පැමිණෙන්නේ ය. සිහි නුවණ හීන වන්නේ ය. ඇස් නො පෙනී යන්නේ ය. කන් නො ඇසී යන්නේ ය. ගඳ දැනීම, රස දැනීම හීන වන්නේ ය. දුබල වී ශරීරය වෙවුලන්නට පටන් ගන්නේ ය. ඇස්වලින් කබ කඳුළු ගලන්නට පටන් ගන්නේ ය. ශරීරයෙන් දුගඳ හමන්නට පටන් ගන්නේ ය.

ක්‍ර‍මයෙන් දිරා ගොස් ඒ කාලය පැමිණි පසු කලින් මැණිකය, රන්කඳය, සුරංගනාවය කියා ඒ ඒ අය වැළඳ ගත් සිප ගත්, ඒ ශරීරයට ළංවන්නට වත් කවුරුවත් කැමති නො වන්නාහ. දක්නටවත් කැමති නො වන්නාහ. කලින් තමාත්, අන්‍යයනුත් ඇලුම් කර ගෙන සිටි රූප කය එබඳු තත්ත්වයකට පැමිණීම නම් මහ දුකෙකි. මේ ජරා දුක ඇති වීමේ හේතුව කුමක් ද? එය ඇති කරන සතුරා කවරෙක් ද? සංස්කාරයන්ගෙන් අන්‍ය වූ ජරාව ඇති කරන හේතුවක් නැත. එය ඇති කරන අන් සතුරෙක් ද නැත. දිරීම සංස්කාරයන්ගේ ස්වභාවයෙකි. සංස්කාරයක් ඇති වුවහොත් එය නො දිරා නො නවත්නේ ය. ජරාව ඇති වීමේ හේතුවත්, ජරාව ඇති කරන සතුරාත්, මේ පඤ්චස්කන්ධය ම ය. දිරන්නේත් පඤ්චස්කන්ධය ම ය. දිරන බැවිනුත්, දිරීම ඇති කර දෙන සතුරා වන බැවිනුත්, පඤ්චස්කන්ධය ඇලුම් කළ යුත්තක් නො ව බිය විය යුත්තකි.

මේ ශරීරය අනේකප්‍ර‍කාර රෝගයන් ගේ උත්පත්ති ස්ථානයකි. කොතෙක් පරෙස්සම් කළත් කෙසේ පරෙස්සම් වුවත්, රෝගයෙන් නො මිදිය හැකි ය. මේ ශරීරයෙහි වෙර ඇති මිනිසුන් දෙදෙනකු විසින් කඹයක් පටලවා තද කරන කලෙක මෙන් ද, මිටියකින් ගසක කලෙක - හුලකින් අණින කලෙක මෙන් ද දරුණු වේදනා ඇති වන ශීර්ෂ රෝගයෝ හට ගනිති. හුලක් ගසා කරකවන කලෙක මෙන් මහත් වේදනා ඇති කරන කර්ණ රෝගයෝ ද, දන්ත රෝගයෝ ද හට ගැනෙති. මිරිස් කුඩු ලූ කලෙක, වීදුරු කැඩු ලූ කලෙක මෙන් වේදනා ඇති වන නේත්‍ර‍ රෝගයෝ හට ගැනෙති. කුණු පොල් ගෙඩියකින් වෑස්සෙන කුණු දිය සෙයින් දුගඳ සොටු, ලේ සැරව ගලන නාශිකා රෝගයෝ ද හට ගැනෙති. පිහියාවලින් කපන කලෙක මෙන් ද, හුල්වලින් අනින කලෙක මෙන් ද, ගින්නෙන් දවන කලෙක මෙන් ද, වේදනා ඇති කරන රෝගයෝ පපුවේ, බඩේ හට ගනිති.

ශාරීරික සප්තධාතූන් කෙමෙන් ක්ෂය වී යාම ඇති, බොහෝ කල් දුක් විඳ දිවි කෙළවර කරන්නට සිදුවන ක්ෂය රෝගය ය. කන් නාස් ඇඟිලි - අත්වලින් පටන් ගෙන ක්‍ර‍මයෙන් ශරීරය දිරා කුණු වී කැඩි කැඩී යාම ඇති, බොහෝ කල් දුක් විඳින්නට සිදු වන ලාදුරු රෝගය ය, එසේ ම බොහෝ කල් දුක් විඳින්නට සිදු වන වණ, කුෂ්ට, පිළිකා රෝගය ය, කයින් අඩක් පණ නැතිව බොහෝ කල් දුක් විඳින්නට වන පක්ෂාගාත රෝගය ය, සිහිසන් නැති වී තැන තැන වැටෙන අපස්මාර රෝගය ය යනාදි බොහෝ රෝගයෝ ද මේ ශරීරයෙහි හට ගැනෙති. ලෝකයෙහි රෝග හේතු සැටියට සලකන කරුණු ඇත ද, ජලයෙහි ලෑමෙන් කළුගල මැටිකැටය සේ දිය නො වන්නාක් මෙන්, රෝග හට ගන්නා ස්වභාවයක් ශරීරයෙහි නැති නම් රෝග හේතූන් සැටියට සලකන දේවල් නිසා ශරීරයෙහි රෝගයෝ නො හට ගන්නාහ. රෝග හටගන්නේ ශරීරයෙහි ඇති රෝග හට ගන්නා ස්වභාවය නිසා ය. එබැවින් සත්‍ය වූ රෝග හේතුවත් රූපස්කන්ධය ම මිය අනිකක් නො වන බවත්, රෝග උපදවන සතුරාත් රූපස්කන්ධය ම මිස අනිකකු නො වන බවත් කිය යුතු ය.

රෝගයැ යි කියනුයේ ද රූපස්කන්ධ සංඛ්‍යාත මේ ශරීරයට අයත් ඇතැම් රූපයන්ට ම ය. ව්‍යාධි දුඃඛයේ සත්‍ය හේතුවත් රූපස්කන්ධ සංඛ්‍යාත ශරීරය ම ය. රෝග දුඃඛය ගෙන දෙන සතුරාත් මේ ශරීරය ම ය. ශරීරය ම රෝගය වන බැවිනුත්, රෝග හේතුව වන බැවිනුත්, රෝග කාරක සතුරා වන බැවිනුත්, රූපස්කන්ධ සංඛ්‍යාත මේ ශරීරය ඇලුම් කළ යුත්තක් නො වන බිය විය යුත්තකි.

උපන් සංස්කාරයෝ දිරීමට පැමිණීමෙන් ම නවත්තාහු නො වෙති. දිරූ පසු ඒවා බිඳී යති. බිඳී යාමය යි කියනුයේ නැති වීම ය. සත්ත්වයාට ජීවිතාන්තය දක්වා ම නැවතීමක් නැතිව දිනපතා ආහාරපානාදියෙන් නැවත නැවත ශරීරය පෝෂණය කරන්නට සිදු වී ඇත්තේ, ආහාරපානාදියෙන් ඇතිවුණු රූප දිර දිරා බිඳී යන බැවිනි. සැපය ඇති කර ගැනීමට, ප්‍රීතිය ඇති කර ගැනීමට, නැවත නැවත මහන්සි වෙමින් වියදම් කරමින් ක්‍රියා කරන්නට සිදු වී ඇත්තේ ද ලබා ගත් සුවය ලබා ගත් ප්‍රීතිය සැණෙකින් ජරාපත් වී බිඳී යන බැවිනි. වෙහෙසී වියදම් කොට ඇති කර ගන්න රූප බිඳි බිඳී යාමත්, සැප බිඳි බිඳී යාමත්, ප්‍රීති බිඳි බිඳී යාමත් රූප බිඳි බිඳී යාමත්, සැප බිඳි බිඳී යාමත්, ප්‍රීති බිඳි බිඳී යාමත්, මහා දුඃඛයකි. එසේ සංස්කාරයන් ගේ බිඳි බිඳී යාම ඇති බැවින් සත්ත්වයාට එක් භවයක හැම කල්හි ජීවත් වන්නට ද නො ලැබෙන්නේ ය. ජීවත් වීම සඳහා නොයෙක් ආකාරයෙන් උත්සාහ කරද්දීම ඒ සියල්ල නිෂ්ඵල වී සත්ත්වයාට මරණයට පැමිණෙන්නට ද සිදු වන්නේ ය. ජීවිතයට නො දෙවෙනි කොට ඇලුම් කරන ධන ධාන්‍ය-පුත්‍ර‍-භාර්‍ය්‍යාදි ප්‍රිය වස්තූන්ගෙන් හා ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වන්නට ද සිදු වන්නේ ය. ප්‍රිය විප්‍රයෝගය ද සත්ත්වයාට මහා දුඃඛයෙකි. පඤ්චස්කන්ධය දිරන-බිදෙන-මැරෙන එකක් වී තිබීමෙන් දුකින් මිදීම පිණිසත්, සැප ලැබීම පිණිසත්, සත්ත්වයාටහට නොයෙක් විට නොයෙක් පව් කම් ද කරන්නට සිදු වේ. ඒවායින් සත්ත්වයාට මරණින් මතු අපාගත වන්නට සිදු වේ. එය සියල්ලට ම මහත් වූ දුක ය. මරණයේ හේතු සැටියට සලකන නොයෙක් කරුණු ඇතත් පඤ්චස්කන්ධයෙහි මැරෙන ස්වභාවය නැති නම් කිසි ම හේතුවකට, කිසි ම සතුරකුට මරණය සිදු කළ නො හැකි ය. මැරෙන ස්වභාවය පඤ්චස්කන්ධයෙහි ඇති බැවින් කිසිවකුට කවර බලයකින් වත් මරණයෙන් නො මිදිය හැකි ය. සත්ත්වයන්ට මරණ දුක්ඛය ඇති වීමේ සත්‍ය වූ හේතුව අනිකක් නොව පඤ්චස්කන්ධය ම ය. මරණ දුඃඛය ඇති කර දෙන සතුරාත් අනිකකු නොව පඤ්චස්කන්ධය ම ය. මැරෙන්නේත් පඤ්චස්කන්ධය ම ය.

නිතර වෙනස් වන දිරන - ගෙවෙන - බිදෙන - මැරෙන මේ පඤ්චස්කන්ධය මහා දුඃඛයක් වන බැවින් සියල්ලෝ ම දුකින් මිදීමත් සැපයත් බලාපොරොත්තු වෙති. දුකින් මිදීමටත්, සැපය ලැබීමටත්, මං සොයති. උත්සාහ කරති. දුකින් මිදීමට හා සැපය ලැබීමට සාමාන්‍ය ලෝකයා විසින් ගෙන තිබෙන මගක් ද ඇත්තේ ය. බුදුන් වහන්සේ විසින් ගන්නා ලද මගක් ද ඇත්තේ ය. ඒ දෙ මගින් ලෝකයා විසින් ගෙන තිබෙන මග නම් වෙනස් වන - දිරන - ගෙවෙන - බිදෙන මැරෙන - ස්වභාවය ඇති පඤ්චස්කන්ධයට පිළියම් කිරීම හා එසේ නො වනු පිණිස පඤ්චස්කන්ධය ආරක්ෂා කිරීම ය. නො දිරන - නො බිදෙන - නො මැරෙන පඤ්චස්කන්ධයන් හෝ ලබා ගැනීම ය. බුදුරජාණන් වහන්සේ ගත් මාර්ගය දිරන - බිදෙන - මැරෙන - ස්වභාවය ඇති පඤ්චස්කන්ධයෙන් මිදී සංස්කාර රහිත වූ නිවන ලබා ගැනීම ය.

පඤ්චස්කන්ධය නො දිරන, නො ගෙවෙන ගිලන් නො වන, නො බිදෙන, නො මැරෙන, ස්වභාවයට පැමිණවීම සිදු නො කළ හැකි වැඩකි. අතීතයෙහි කිසිවකුට කිසිම බලයකින් එය නො කළ හැකි විය. අනාගතයේ දී ද කිසිවකුට කිසිම බලයකින් එය නො කළ හැකි වන්නේ ය. ඒ සඳහා කරන උත්සාහයක් වේ නම් එය සම්පූර්ණයෙන් ම නිරර්ථක වන්නේ ය. සියල්ල දත් බුදුරජාණන් වහන්සේ ඒ බව දැන, පොදු ජනයා ගෙන සිටින ඒ මාර්ග හළ සේක. පඤ්චස්කන්ධයෙන් මිදී නිවනට පැමිණ දුකින් මිදීමේ නො වරදින මග තථාගතයන් වහන්සේ ගත් සේක. දුකින් මිදෙනු කැමති පින්වතුන් විසින් තථාගතයන් වහන්සේගේ මාර්ගය ගෙන නිස්සාර වූ පඤ්චස්කන්ධය නිත්‍ය-ශුභ-සුඛ ස්වභාවයට පැමිණවීමට වෙහෙසීම් වශයෙන් නිශ්ඵල ව්‍යායාමයක් නො කොට පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයෙන් මිදී, පරමසුඛ ස්වභාවය වූ නිවනට පැමිණීම සඳහා තමන්ගේ සම්පූර්ණ උත්සාහය යෙදිය යුතු ය.

පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයෙන් මිදී අපාය දුඃඛයෙන් මිදී නිවන් සැපය ලැබීය සඳහා බුදුන් වහන්සේ විසින් ලෝකයාට දක්වා ඇති මාර්ගය බෝධිපාක්ෂික ධර්ම වැඩීම ය. අතීතයෙහි යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම දෙනම නිවන් දුටුවේ බෝධිපාක්ෂික ධර්ම මාර්ගයෙන් ම ය. අනාගතයෙහි නිවන් දක්නවුන් එය සිදු කර ගන්නේත් ඒ මාර්ගයෙන් ම ය. එය හැර නිවනට තවත් මගක් නැත්තේ ය. එබැවින් නිවන් දකිනු කැමැත්තෝ බෝධිපාක්ෂික ධර්ම මැනවින් උගෙන තම තමන්ගේ සන්තානවල ඒ ධර්ම වර්ධනය කෙරෙත්වා!!

මේ බුද්ධජයන්ති කාලයේ ධර්මය සෙවීමට - නිවන් සෙවීමට නැමුණු සිත් ඇතියවුන්ගේ සංඛ්‍යාව තරමක් ඉහළ නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කර ගැනීමට ක්‍ර‍මයක් සැලසීම් වශයෙන් අප විසින් බෝධිපාක්ෂික ධර්ම විස්තරය නමැති මේ ග්‍ර‍න්ථය සම්පාදනය කරන ලදි. සිංහල කියවිය හැකි කවරකුට වුවත් මේ පොත කියවීමෙන් වැඩි ආයාශයක් නැතිව බෝධිපාක්ෂික ධර්ම සත්තිස පිළිබඳව නිවැරදි දැනුමක් ඇති කර ගත හැකි ය.

කියවන්නා වෙහෙසට පත් කරවන, කාරණය තවත් අවුල්කරන, පද විග්‍ර‍හ - ධාතුප්‍ර‍ත්‍ය විභාග - පද සිද්ධි ආදිය මේ පොතට ඇතුළත් කර නැත. මෙහි බෝධි පාක්ෂික ධර්ම සත්තිස වෙන වෙනම ලිහිල් සිංහල බසින් හඳුන්වා, ඒවායේ විශේෂ විභාගත්, ඒවා වැඩිය යුතු ආකාරයත්, ඒ ඒ ධර්මය වැඩීමෙන් වන ප්‍රයෝජනයත් විස්තර කර ඇත.

ධර්‍මය ලෙව්හි බැබලේවා!

මීට, රේරුකානේ චන්දවිමල ස්ථවිර

2499 (1955) මැයි 30 වෙනි දින පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.

බෝධිපාක්ෂික ධර්ම විස්තරය

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

අති දීර්ඝ වූ මේ සංසාරයෙහි සැරිසරන්නා වූ එක් එක් සත්ත්වයකුහට නිවනට නො පැමිණිය හැකි වුවහොත් අනාගතයෙහි ඒ ඒ ජාතිවල උපදින්නට සිදුවන වාරයන්ගේ ප්‍රමාණයක් නැත්තේ ය. ජරාවට මරණයට පැමිණෙන්නට සිදුවන වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය. තමා විසින් දුකසේ සපයා ගෙන ආදරයෙන් ආරක්ෂා කරන ධනය විනාශ වන්නා වූ අනුන් විසින් පැහැර ගන්නා වූ වාරවල ප්‍රමාණයක් ද නැත්තේ ය. තමාගේ ආදරණීය අඹු දරුවන් අනුන් විසින් පැහැර ගන්නා වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය. අනුන්ගෙන් නින්දා බස් අසන්නට සිදු වන්නා වූ බැණුම් අසන්නට සිදු වන්නා වූ ගැහුම් කන්නට සිදු වන්නා වූ මැරුම් කන්නට සිදු වන්නා වූ වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය. දුර්භික්ෂ වලට හසු වී නිරාහාර ව මිය යන්නට සිදු වන්නා වූ වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය.

නොයෙක් කරුණට බොහෝ වෙහෙසෙන්නට සිදු වන්නා වූ කණගාටු වන්නට සිදු වන්නා වූ බිය වන්නට සිදු වන්නා වූ හඬන්නට සිදු වන්නා වූ වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය. නරකාදි සතර අපායයෙහි ඉපද දරුණු කටුක දුක් විඳින්නට සිදුවන වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය. එබැවින් සංසාරය මහා දුඃඛ පරම්පරාවෙකි. මහා දුක්ඛස්කන්ධයෙකි. මේ මහා දුක්ඛස්කන්ධයෙන් මිදී වාසය කිරීමට ආරක්ෂා ස්ථානයක් කාම - රූප - අරූප සංඛ්‍යාත ලෝකත්‍රයෙහි නැත්තේ ය. කියන ලද මහා දුඃඛස්කන්ධයෙන් මිදීමට ඇත්තා වූ එකම ආරක්ෂාස්ථානය නිවන ය.

නිවන් මඟ හෙළිවන්නේ, දොර හැරෙන්නේ බුද්ධෝත්පාද කාලයේ ය. යම් තාක් කල් බුදුන් වහන්සේගේ ධර්මය ලොව පවතී ද ඒ තාක් නිවන් මඟ හෙළි වී පවත්නේ ය. නිවන් දොර නො වැසී පවත්නේ ය. මෙය තථාගතයන් වහන්සේගේ ධර්මය මැනවින් පවත්නා කාලයෙකි. මෙය සසර දුකින් මිදී නිවන් පුර පැමිණෙනු කැමති පින්වතුන්ට නිවන් ලබන්නට උත්සාහ කිරීමට යහපත් කාලයෙකි. මෙය එයට කාලය නොවෙති යි සිතා අතිදුර්ලභ වූ අගනා අවස්ථාව ඉක්ම යන්නට නො දිය යුතු ය. බුද්ධාගම ඇදහීමෙන් බලාපොරොත්තු විය යුතු වූ උසස් ම දෙය නිවන ය. එබැවින් තථාගතයන් වහන්සේගේ ධර්මය පවත්නා වූ නිවන් මඟ හෙළි වී තිබෙන්නා වූ මේ උතුම් කාලයෙහි එ මඟ ගමන් කොට නිවන් පුරයට පිවිසීමට සියල්ලෝ ම උත්සාහ කෙරෙත්වා.

නිවනට පැමිණිය හැක්කේ සෝවාන් මාර්ග ඥානය, සකෘදාගාමී මාර්ග ඥානය, අනාගාමී මාර්ග ඥානය, අර්හත් මාර්ග ඥානය යන ලෝකෝත්තර ඥානයන් ස්වසන්තානයෙහි උපදවා ගැනීමෙනි.

බෝධි යනු ඒ ලෝකෝත්තර ඥානවලට ව්‍යවහාර කරන තවත් නමෙකි. බෝධි නම් වූ ලෝකෝත්තර ඥානයන් ලැබීමට - ඇතිකර ගැනීමට උපකාර වන ධර්ම සමූහයක් ඇත්තේ ය. එයට බෝධි පාක්ෂික ධර්මය යි කියනු ලැබේ. අත්‍යුත්තම වූ ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීම සඳහා කළ යුතු දෙය නම් බෝධිපාක්ෂික ධර්ම වැඩීමය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් ශීල සමාධි ප්‍ර‍ඥා තුන ඇති කිරීමය. තවත් ක්‍ර‍මයකින් කියතහොත් ශීල විශුද්ධ්‍යාදි විශුද්ධි සත සම්පාදනය කිරීමය. බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම ය කියා කළ යුතු දෙය ශීලයෙහි පිහිටීම හා ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම ය. උගත්කම උගෙනීමෙන් ම මිස මිළයකින් නො ලැබිය හැකි ය. එමෙන් කියන ලද ලෝකෝත්තර ඥානය බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම් වශයෙන් ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙන් මිස දන් දීමෙන් හෝ ගොඩනැගිලි කරවීමෙන් හෝ උත්සව පැවැත්වීමෙන් හෝ නො ලැබිය හැකි බව ද සැලකිය යුතු ය.

අත්‍යුත්තම වූ ලෝකෝත්තර මාර්ගඥානය මඳ කලකින් පහසුවෙන් ලැබිය හැකි දෙයක් නොව, බොහෝ කල් උත්සාහ කිරීමෙන් ලැබිය යුත්තකි. අවුරුදු දහස් ගණනක් වුවත් ජාති සිය ගණනක් දහස් ගණනක් වුවත් එය ලැබීම සඳහා උත්සාහ කළ යුතු ය. ඒ ලෝකෝත්තර මාර්ගඥානය කොතරම් මහත් පරිත්‍යාගයකින් වුව ද කොතරම් මහත් උත්සාහයකින් වුව ද කොතෙක් දීර්ඝ කාලයක් උත්සාහ කොට වුව ද ලබා ගැනීමට සුදුසු වටනා දෙයකි. එය අවුරුදු දහස් ගණනක් නැතහොත් ජාති දහස් ගණනක් උත්සාහ කොට ලබන්නට තරම් වටිනා දෙයක් නො වේය යි නො සිතිය යුතු ය. නිවනට නො පැමිණ සිටියහොත් එක් එක් සත්ත්වයකුට අනාගත සංසාරයේ දී අන් දුක් විඳින්නට වන කාල තබා හඬන්නට සිදු වන්නා වූ කාලය ම ද අවුරුදු දහස් ගණනකට වඩා බොහෝ දිග ය. එ බැවින් කොතරම් දීර්ඝ කාලයක් වුව ද ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීම සඳහා උත්සාහ කළ යුතු ය.

සසර දුකින් මුදවා සත්ත්වයාට නිවන් සුවය ලබා දෙන්නා වූ ඒ ලෝකෝත්තර මාර්ග ඥානය, වන ගත ව වෙසෙන පැවිද්දන් විසින් පමණක් ලැබිය හැකි ඔවුන්ට පමණක් හිමි දෙයක් නොව ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල මහලු සැම දෙනා විසින් ම ලැබිය හැකි දෙයකි. සුදුසු පරිදි බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම කළහොත් ඒ ලෝකෝත්තර ඥානය ගිහිගෙයි වෙසෙන තැනැත්තාට ද ලැබෙන්නේ ය. නගරග්‍රාමවල වෙසෙන පැවිද්දන්ට ද ලැබෙන්නේ ය. නියම මාර්ගයේ ගමන් නො කළ හොත් වනයෙහි වෙසෙන පැවිද්දන්ට ද නො ලැබෙන්නේ ය.

බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ ක්‍ර‍ම දෙකකි. ජීවනෝපාය වශයෙන් නොයෙක් දෑ කරන අතර ම අඹුදරුවන් පෝෂණය කරන අතර ම අවකාශ ලත් පරිදි හැකි පමණින් ඒවා වැඩීමේ ද යෙදීම එක් ක්‍ර‍මයෙකි. අන් සියලු වැඩ නවත්වා නිවන් මඟ ගමන් කිරීම ම තමාගේ ප්‍ර‍ධාන කෘත්‍යය වශයෙන් ගෙන එහි ම උග්‍ර‍ වශයෙන් යෙදීම එක් ක්‍ර‍මයෙකි. උග්‍ර‍ වශයෙන් එහි යෙදෙන්නා වූ ඒ පින්වතුන්ට ඒ ලෝකෝත්තර ඥානය ඉක්මණින් ලැබිය හැකි වන්නේ ය. සෙමින් එහි යෙදෙන්නා වූ පින්වතුන්ට ලෝකෝත්තර ඥානය ලැබීමට බොහෝ කල් ගත වන්නේ ය. සමහර විට කල්ප ගණනක් වුව ද ගත වන්නේ ය. එහෙත් පැවිදි ව හෝ නො පැවිදිව හෝ උග්‍ර‍ වශයෙන් එහි යෙදීම සැම දෙනාට ම කළ හැකි දෙයක් නො වේ. එසේ කළ හැකි වන්නේ අව්වට වැස්සට පින්නට ශීතලට උෂ්ණයට ඔරොත්තු දෙන්නා වූ ද රූක්ෂ හෝ මඳ වූ හෝ ආහාරයෙන් වුව ද ජීවත් වීමේ ශක්තිය ඇත්තා වූ ද, බොහෝ කල් නො නිදා සිටීම් එක් ඉරියව්වකින් සිටීම්, ආදියට ඔරොත්තු දෙන්නා වූ ද නිරෝගී ශක්ති සම්පන්න ශරීර ඇතියවුන්ට පමණෙකි. එබඳු පුද්ගලයෝ ලෝකයෙහි සුලභ නැත්තාහ.

ඔරොත්තු දෙන යහපත් ශරීරයක් නැති ව තමන්ගේ ශීලානුභාවයෙන් ම භාවනාවේ ආනුභාවයෙන්ම සියල්ල සිදු වෙති යි සිතා, උග්‍ර‍ වශයෙන් පිළිවෙත් පිරූවන් අනුකරණය කරන්නට යන්නෝ එයින් අමාරුවට වැටී පිරිහීමට පත් වන්නාහ. යථාවකාශ පරිද්දෙන් මඳින් මඳ බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ ක්‍ර‍මය ලඝු කොට නො සිතිය යුතු ය. එය මතු කවර කලෙක හෝ ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමේ පාරමිතාව වන්නේ ය. බුදුවරුන් හමු වූ කල දහම් අසා පහසුවෙන් සෝවාන් ආදි මාර්ග ඵලවලට පැමිණ නිවන් දක්නෝ පෙර ජාතිවලදී බෝධිපාක්ෂික ධර්මයන් වඩා පාරමිතාව සම්පූර්ණ කරගෙන තිබුණා වූ පුද්ගලයෝ ය. ඇතැම්හු සසර කලකිරුණු කල්හි ගිහිව සිට ශීල සමාධ්‍යාදිය පිරීම ප්‍ර‍මාණ නො වෙතියි සිතා පැවිදි වන්නට තැන් සොයති. ගුරුවරු සොයති. පැවිදි වන්නට තැන් නොලත් කල්හි ගිහිව සිට හැකි පමණින් බෝධි පාක්ෂික ධර්ම සම්පාදනයෙහි නොයෙදී අන්‍යයන්ට දොස් කියමින් නිකම් ම කාලය ගත කෙරෙති. එය මහත් අනුවණ කමෙකි.

නිවන් සොයනු පිණිස භාවනාවෙහි යෙදීමට පැවිදි වෙතත් විය යුත්තේ ඉහත කී පරිදි සියල්ලට ම ඔරොත්තු දෙන නිරෝගී ශක්ති සම්පන්න ශරීර ඇතියවුන් විසින් පමණෙකි. බොහෝ දෙන සැදැහැයෙන් පැවිදි වී උග්‍ර‍ ප්‍ර‍තිපත්තියට බැස ටික කලකින් රෝගාතුර වී අවසානයේ කිසිවක් කර ගත නොහැකි ව ළතවෙති. එබැවින් පැවිදි වන්නට කැමති තැනැත්තන් විසින් එය කිරීමට තරම් තමාට ශක්තියක් තිබේද, අමාරුවට පත්වුව හොත් තමාට පිහිට වන්නට කෙනෙක් ඇද්ද නැද්ද යනු කල්පනා කර, කළ යුතු ය.

නිවන් දැකීමේ පිළිවෙත්වල යෙදීමේ බලාපොරොත්තුව ඇති ඇතැම් පින්වත්හු ගිහිගෙයි වැඩ කර අවසන් කොට ඒ මඟට බසින්නට සිතා, දූ දරුවන්ගේ වැඩවල ම යෙදෙති. ජීවිත පිළිබඳ ව කරන්නට තිබෙන වැඩ හා අඹුදරුවන් ඇතියන්ට ඔවුන් ගැන කරන්නට තිබෙන වැඩත් කවදාවත් අවසන් කරන්නට නො ලැබෙන්නේ ය. ඔවුන්ට එක් වැඩක් අවසන් කරන විට තවත් වැඩ දෙක තුනක් පැමිණෙන්නේ ය. ඔවුනට කවදාවත් වැඩ ඉවර කර පිළිවෙත් පිරීමට තබා මැරෙන්නට වත් නො ලැබෙන්නේ ය. ඉදිරියට බලාපොරොත්තු බොහෝ වැඩ තිබියදී ම මරු වසඟයට පැමිණෙන්නට සිදු වන්නේ ය. එබැවින් වැඩ ඉවර කිරීමක් ගැන බලාපොරොත්තු නො වී සසර දුකින් මිදීම සඳහා කළ යුතු දෑ ද හැකි පමණින් අනික් වැඩ කරන අතර ම කරගත යුතුය.

ඇතැම් පැවිද්දෝ පන්සල්වල වැඩ ගෝල බාලයන් ගේ වැඩ ඉවර කොට භාවනාවෙහි යෙදෙන්නට, අරණ්‍යගත වන්නට සිතති, කථා කරති. ඔවුනට සිදු වන්නේ ද ඉහත කී ගිහි භවතුන්ට සිදු වන දෙය ම ය. එබැවින් නගර ග්‍රාමවල වෙසෙන භික්ෂූහු ද අනාගතය ගැන නො සිතා පිළිවෙත් පිරීම කල් නො තබා තමන්ට සිටින තැන්වල ම සිට බෝධිපාක්ෂික ධර්ම වැඩීම කෙරෙත්වා! තම්න පැමිණ සිටින ලබා සිටින මහණ කමෙන් ලැබිය යුතු ඵල ලැබිය හැකි වන්නේ එසේ කරන්නා වූ පැවිද්දන් වහන්සේලාට ය. නායක කමක් ලැබීම හෝ පණ්ඩිතයකු වශයෙන් කථිකයකු වශයෙන් ක්‍රියා ශූරයකු වශයෙන් ගත් කරුවකු වශයෙන් ප්‍ර‍සිද්ධියට පැමිණීම හෝ ලොකු පන්සලක් ලොකු දායක පිරිසක් ඇතිකර ගැනීම හෝ ලොකු ඉඩම් හිමියකු වීම හෝ අපේ භික්ෂූන් වහන්සේලා උසස් කොට නො සලකත්වා! කොපමණ අමාරුවෙන් හෝ සිට ගෙන කුසගින්නේ හෝ සිට ගෙන මඳක්වත් බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම ම උසස් කොට සලකත්වා!

ඇතැම් පැවිද්දන් වහන්සේලා ශීලය ගැන ම කථා කරමින් ශීලය ම උසස් කොට ගනිමින් ශීලයෙහි ම සියල්ල සිදු කර ගන්නා බලාපොරොත්තුවෙන් සිල් පිරිසිදු කර ගැනීම් මාත්‍රයෙන් නැවතී සිටිති. එ ද එතුමන්ලාට ඇති වැරදි හැඟීමෙකි. සිල් රැකීමෙන් පමණක් නැවතී සිටීම වැට බැඳ ගෙන කුඹුර නො වපුරා සිටීමක් වැනි ය. එක් දවසක් ආයුෂ්මත් භද්‍ර‍ ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ ඇවැත්නි! භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ කුශල ශීලයෝ කිනම් ප්‍රයෝජනයක් සඳහා වදාරන ලද්දාහු දැ’යි විචාළහ. එකල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ -

“යානිමානි ආවුසො භද්ද! කුසලානි සීලානි වුත්තානි භගවතා. ඉමානි කුසලානි සීලානි යාව දෙව චතුන්නං සතිපට්ඨානානං භාවනාය වුත්තානි භගවතා” යි.

“ඇවැත්නි, භද්දය, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් කුශල ශීලයෙක් වදාරන ලද ද ඒවා සතර සතිපට්ඨානයන් වැඩීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු වෙත’යි පිළිතුරු දුන්හ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ ප්‍ර‍කාශයෙන් ශීලය කුමක් සඳහා ද යන බව තේරුම් ගෙන, ශීල මාත්‍රයෙන් නො නැවතී, ශීලයෙහි පිහිටා අමාරුවෙන් රක්නා ශීලයෙන් ගත යුතු උසස් ප්‍රයෝජනය ලැබීම සඳහා බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම කළ යුතු ය.

ගිහිගෙයි වෙසෙමින් අවකාශ ඇති පරිද් බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නා වූ හෙවත් භාවනාවෙහි යෙදෙන්නා වූ තැනැත්තන් දුටු කල්හි පස්කම් සැපෙහි හා දුසිරිතෙහි එරී සිටින්නා වූ ඇතැම්හු, මේ ගිහි ගෙවල ඕවා කරන්නට බැරිය. ඕවා කරන්නට නම් මහණ වන්නට ඕනෑ ය’ යනාදිය කියා මඳක්වත් භාවනා කරන්නා වූ පින්වතුන් එයින් පසු බස්වති. ඇතැම්හු පරිහාස කොට ධර්මයෙහි හැසිරෙන්නා වූ තැනැත්තාට බාධා කරති. නගර ග්‍රාමවල පන්සල්වල මඳක් වත් භාවනාවෙහි යෙදෙන භික්ෂුවක් දුටු කල්හි ඕවා කරන්නට නම් කැලයට යා යුතුය’ යනාදිය කියා පසුබස්වති. එසේ පසු බැස්වීම අනුන්ට මහත් අන්තරායක් කිරීමෙකි. එය මහත් පාපයෙකි. ඒ පාපය නිසා ඔවුහු නිවනින් වඩාත් දුර වෙති. තමන්ට ශ්‍රද්ධාව නැති නම් ධර්මයෙහි හැසිරෙන්නට නුපුළුවන් නම් නිකම් සිටිනවා මිස පිළිවෙත් පුරන්නා වූ පින්වතුන්ට බාධා කොට අපායගාමී නො විය යුතුය.

බෝධිපාක්ෂික ධර්ම පුරන්නට පටන් ගන්නා වූ තැනැත්තා විසින් පළමුව කළ යුත්තේ ශීලයෙහි පිහිටීම ය. මෙහි ශීලය යි කියන ලදුයේ නිත්‍ය ශීලයට ය. ගිහි පින්වතුන් විසින් නිත්‍යශීලය වශයෙන් පඤ්චශීලය රක්ෂා කළ යුතු ය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගත්‍ර‍ය සම්පූර්ණ කිරීම් වශයෙන් ආජීවාෂ්ටමක ශීලය නිත්‍ය ශීලය වශයෙන් රක්ෂා කරන්නට පුරුදු කර ගැනීම වඩාත් හොඳය. උත්සාහය ඇති නම් අෂ්ටාංග ශීලය හා දශ ශීලය ද නිත්‍ය ශීල වශයෙන් රක්ෂා කිරීම සුදුසු ය. පෘථග්ජන පුද්ගලයා ගේ ශීලය ස්ථිර නැත. ඔහු අතින් සමහර අවස්ථාවල දී ඇතැම් සිකපද බිඳිය හැකි ය. එසේ බිඳීමක් වුවහොත් නැවත සිල් ඉටා ගත යුතු ය. නො බි‍‍දෙන ලෙස නො රැකිය හැකිය කියා ශීලය නො හළ යුතු ය. නො බිදෙන ලෙස සිල් නො රැකිය හැකිය කියා භාවනාවන් ද නො හළ යුතු ය. ශීලයෙහි පිහිටා භාවනා කළ යුතුය යි කියනුයේ එය වඩා හොඳ නිසා ය. එසේ කියනුයේ සිල් නැති ව සිට භාවනා කිරීමෙන් පවක් වන නිසා හෝ එය නිෂ්ඵල වන නිසා හෝ නොවේ. සිල් නැතිව කරන භාවනාවෙන් ද සාමාන්‍ය ඵල ලැබෙන්නේ ය.

බෝධිපාක්ෂික ධර්ම නො වැඩූ තැනැත්තන්ගේ සන්තානවල කෙලෙස් බහුල ය. එ බැවින් ඔවුනට සිල් රැකීම මහ බරක් හැටියට වැටහෙන්නේ ය. සමාදන් වූ ශීලයෙහි පිහිටා සිටීමට ද ඔවුනට දුෂ්කර වන්නේ ය. ඔවුන් ගේ ශීලය නිතර ම කිලිටි වන්නේ ය. බිදෙන්නේ ය. බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමෙන් ක්‍ර‍මයෙන් කෙලෙස් තුනී වන්නේ ය. කෙලෙස් තුනී වූ තරමට සිල් රැකීම පහසු වන්නේ ය. කෙලෙස් තුනී කර ගත් තැනැත්තාට බරක් වන්නේ සිල් රැකීම නො ව සිල් බිඳීම ය. බෝධිපාක්ෂික ධර්ම නො වැඩූ තැනැත්තාට සික පදයක් රක්ෂා කිරීම බරක් සැටියට අමාරුවක් සැටියට වැටහෙන තරමට ම බෝධිපාක්ෂික ධර්ම ස්වසන්තානයෙහි ඇතිකර ගත් දියුණු කරගත් තැනැත්තාට යම්කිසි සික පදයක් තමා අතින් කැඩෙන්නට යනවා නම් එය අමාරුවක් බරක් සැටියට වැටහෙන්නේ ය. එ බැවින් බෝධි පාක්ෂික ධර්ම වැඩෙත් ම සිල් රැකීම පහසු වන බව ද දත යුතු ය.

සතිපට්ඨානය, සම්මප්පධානය, ඉද්ධිපාදය, ඉන්ද්‍රිය ය, බලය, බොජ්ඣංගය, මග්ගංගය යි බෝධිපාක්ෂික ධර්ම කොටස් සතෙකි.

සතිපට්ඨාන සතරක් ද, සම්මප්පධාන සතරක් ද, ඉද්ධිපාද සතරක් ද, ඉන්ද්‍රිය පසක් ද, බල පසක් ද, බොජ්ඣංග සතක් ද, මග්ගංග අටක් ද වීමෙන් බෝධිපාක්ෂික ධර්මයෝ සතිස් දෙනෙක් වෙති.

සතිපට්ඨාන සතර

“චත්තාරො සතිපට්ඨානා, කායානුපස්සනා සතිපට්ඨානං, වේදනානුපස්සනා සතිපට්ඨානං, චිත්තානුපස්සනා සතිපට්ඨානං, ධම්මානුපස්සනා සතිපට්ඨානං”

කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය,  චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය යි සතිපට්ඨානයෝ සතර දෙනෙකි.

සතිපට්ඨාන යන මෙහි ‘සති’ යනු සිහියට නමෙකි. පල්ලමකට දැමූ බෝලයක් සේ පෙරලී නො ගොස් මනා කොට පිහිටන්නා වූ දෙයට පට්ඨානය යි කියනු ලැබේ. මේ සතිය හෙවත් සිහිය නානාරම්මණයෙහි නො මනා පරිදි විසිර නො ගොස් කායාදි ආරම්මණයෙහි මනා කොට පිහිටන බැවින් එයට සතිපට්ඨානය යි කියනු ලැබේ. සතිපට්ඨාන යනු කායාදි ආරම්මණයෙහි මනා කොට පිහිටන්නා වූ සිහිය ය. සතිපට්ඨාන යන වචනයෙන් කියැවෙන තවත් අර්ථ ද ඇත්තේ ය. ඒ අර්ථ මේ බෝධිපාක්ෂික ධර්ම කථාවෙහි දී නො ගනු ලැබේ. කියන ලදුයේ මෙහි දී ගත යුතු අර්ථය යි. සිහිය සාමාන්‍යයෙන් එකක් වුව ද එය කාය, වේදනා, චිත්ත, ධම්ම යන පිහිටන ස්ථානයන් ගේ වශයෙන් කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානු පස්සනා සතිපට්ඨානය යි සතර වැදෑරුම් වේ. එ බැවින් සතිපට්ඨාන සතරකැ යි කියනු ලැබේ.

කාය ය යි කියනු ලබන රූප සමූහය සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් හා නිත්‍ය සුඛ ශුභාදි වශයෙන් නො මනා පරිද්දෙන් නො බලා ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි ඒ ඒ කායයන් සැටියට ම බලන්නා වූ ද අනිත්‍යාදි වශයෙන් බලන්නා වූ ද ප්‍ර‍ඥාව හා යුක්ත වන සිහිය කායානුපස්සනා සතිපට්ඨාන නම් වේ.

නව වැදෑරුම් වේදනාව ආත්මාදි වශයෙන් වරදවා නොගෙන ඒ ඒ වේදනා සැටියට ම බලන්නා වූ ද වේදනාව අනිත්‍යාදි වශයෙන් බලන්නා වූ ද ඥානය හා පවත්නා වූ ද සිහිය වේදනානුපස්සනා සතිපට්ඨාන නම් වේ.

සරාග චිත්තාදි වශයෙන් සොළොස් වැදෑරුම් වූ චිත්තය ආත්මාදි වශයෙන් වරදවා නො ගෙන චිත්තයක් සැටියට බලන්නා වූ ද අනිත්‍යාදි වශයෙන් බලන්නා වූ ද ඥානයෙන් යුක්ත වූ සිහිය චිත්තානුපස්සනා සතිපට්ඨාන නම් වේ.

නීවරණාදි ධර්මයන් ආත්මාදි වශයෙන් වරදවා නොගෙන නීවරණාදි ධර්ම වශයෙන් බලන්නා වූ ද, ඒවායේ ඉපදීම් බිඳීම් ආදිය බලන්නා වූ ද ඥානයෙන් යුක්ත වූ සිහිය ධම්මානුපස්සනා සතිපට්ඨාන නම් වේ.

නිවන් සොයන පින්වතුන් විසින් ප්‍රාරම්භ ක්‍රියාවක් වශයෙන් කළ යුත්තේ සතිපට්ඨාන භාවනාවට පටන් ගැනීම ය. එය නිවන් මඟට බැස ගැනීම ය. සතිපට්ඨානය නිවන් මඟ ය. එ බැවින් -

“එකායනෝ අයං භික්ඛවෙ! මග්ගො සත්තානං විසුද්ධියා සොක පරිද්දවානං සමතික්කමාය දුක්ඛදෝමනස්සානං අත්තංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා.”

යනු වදාළ සේක. “මහණෙනි, යම් සතර සතිපට්ඨානයක් වේ ද එය සත්ත්වයනට රාගාදි ක්ලේශ මලයෙන් පිරිසිදු වීම පිණිස ද, කණගාටුවීම්, හැඬීම් ඉක්මවීම පිණිස ද, දුක් දොම්නස් නැති කරගනු පිණිස ද, ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීම පිණිස ද, නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ කිරීම පිණිස ද ඇත්තා වූ නිවන කරා කෙළින් ම යන්නා වූ මාර්ගය ය” යනු එහි තේරුම ය.

සත්ත්වයා ගේ සිතට හසුවන්නා වූ නානාප්‍ර‍කාර අරමුණු වලින් ලෝකය පිරී තිබේ. සත්ත්වයාගේ සිත ඇදගන්නා වූ සිත ඇලෙන්නා වූ අරමුණු ද ලෝකයෙහි බොහෝ ය. භාවනාවෙහි යොදා නො හික්මවන ලද්දා වූ නො සකස් කරන ලද්දා වූ කීකරු නො කරන ලද්දා වූ සාමාන්‍ය පුද්ගලයන්ගේ සිත අනවරාග්‍ර‍ සංසාරයෙහි ඉතා දීර්ඝ කාලයෙක පටන් නිතර ම අරමුණෙන් අරමුණට යමින් ද කාමනීය ආරම්මණයෙහි ඇලෙමින් ද පාපයෙහි ඇලෙමින් ද පැවත එන්නේ ය. නිවන ලබා දෙන්නා වූ ඉහත කී ලෝකෝත්තර ඥානය වනාහි සිත සන්සිඳුවා ස්කන්ධාදි ධර්ම විෂයයෙහි බොහෝ කලක් පවත්වා ඒ ධර්මයන්ගේ සැබෑ තත්ත්වය සොයා දැන ගැනීමෙන් ලැබිය යුත්තෙකි.

අනවරාග්‍ර‍ සංසාරයෙහි අතිදීර්ඝ කාලයක් නානාරම්මණයෙහි විසිර පැවැත්තා වූ සිත එක අරමුණක එක් ක්‍රියාවක වැඩි වේලාවක් නො පැවැත්විය හැකි ය. යටත් පිරිසෙයින් මිනිත්තු කීපයක් වත් පැවැත්වීමට දුෂ්කර ය. ඒ සිත ගත් අරමුණේ නො සිට වහා අනිකකට යන්නේ ය. මහත් දෙයක් කිරීමට තබා මිනිත්තු ගණනක් ගුණ මෙනෙහි කරමින් බුදුන් වැඳීම වුව ද, මඳ වේලාවක් ධර්මයක් ඇසීම වුව ද එබඳු සිත ඇති තැනැත්තාට නො කළ හැකි ය. වන්දනාවට පටන් ගත් විට ද ඔහු ගේ සිත අනෙකකට ඇදෙන්නේ ය. බණක් අසන කල්හි ද ඔහුගේ සිත අනෙකකට ඇදෙන්නේ ය. ස්කන්ධාදි ගැඹුරු ධර්මයන් මෙනෙහි කරන්නට ගිය හොත් ඔහුගේ සිත අනෙකකට ඇදී යාම ගැන කියනු කිම? භාවනාවෙහි යෙදීමෙන් නො හික්මවන ලද නො සන්සිඳුවන ලද සිත කුළු ගොනකු වැනි ය.

කවදාවත් කඹයක් කරට දමා නැති කුළුගොනකු අල්ලා කරත්තයක බැඳ දැක්කුව හොත් ඌ හැරුණු හැරුණු අත පලා යනු මිස, කිසි කලෙක නියම මඟ නො යන්නේ ය. එ මෙන් භාවනාවෙන් නො හික්ම වන ලද සිත කුශල ක්‍රියාවක හෝ ස්කන්ධාදි ධර්ම විභාග විමසීමක හෝ යෙදුව හොත් මොහොතකුදු එහි නො පිහිටා අන් අරමුණුවලට ඇදී යන්නේ ය. බොහෝ දෙනාට බණ ඇසීමට බණ ඉගෙනීමට භාවනාවෙහි යෙදීමට හා තවත් පුණ්‍ය ක්‍රියාවල යෙදීමට ද නො හැකි වී තිබෙන්නේ සිත හික්මවා ගෙන නැති බැවිනි. හිත හික්මවා නො ගත් තැනැත්තා නිවන් මඟට බැස ගත්තේ ද එහි ඉදිරියට නො ගොස් වහා අන් අතකට හැරෙන්නේ ය. එ බැවින් සසර දුකින් මිදෙනු කැමති තැනැත්තා විසින් අනවරාග්‍ර‍ සංසාරයෙහි දීර්ඝ කාලයක් මුළුල්ලෙහි නානාරම්මණයෙහි වික්ෂිප්ත ව පාපයෙහි ඇලී ගැලී ආ කුළු සිත දමනය කරන්නට පළමුවෙන් පටන්ගත යුතු ය. එය නො කොට නිවන් නො ලැබිය හැකි ය.

සිත දමනය කිරීමට ඇත්තා වූ හොඳ ම උපාය සතිපට්ඨාන භාවනාව ය. සතිපට්ඨානය සෑම දෙනාට ම වුවමනා වන්නේ ද ඒ නිසා ය. සතිපට්ඨානය දියුණු කර ගැනීමෙන් සිත හික්මෙන්නේ ය. සන්සිදෙන්නේ ය. වනයේ වාසය කරන කුළු ගොනා අල්ලා බැඳ කීකරු කර ගත් කල්හි ඌ කැමති වැඩක යෙදවිය හැකි වන්නාක් මෙන් සතිපට්ඨාන භාවනාවෙන් සිත කීකරු කර ගත් කල්හි ඒ සිත කැමති යහපත් ක්‍රියාවක කැමති තාක් කල් යෙදිය හැකි වන්නේ ය. පැය ගණනක් වුව ද එක් අරමුණක පිහිටුවිය හැකි වන්නේ ය. කීකරු ගොනා රියෙහි බැඳ නිසි මඟ යැවිය හැකි වන්නාක් මෙන් කීකරු කර ගත් සිත නිවන් මඟ යැවිය හැකි වන්නේ ය. එ බැවින් සසර දුකින් මිදී නිවන් සුවය ලබනු කැමති සත්පුරුෂයෝ සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් තම තමන්ගේ සිත් සකස් කෙරෙත්වා!

කායානුපස්සනා සතිපට්ඨානය

සතර සතිපට්ඨානයන් අතුරෙන් බොහෝ යෝගාවචරයන් පුරුදු පුහුණු කරන්නා වූ ද, යෝගාවචරයනට භාවනා කිරීමට පහසු වන්නා වූ ද සතිපට්ඨානය කායානුපස්සනා සතිපට්ඨානය ය. එ බැවින් පළමුවෙන් භාවනාවට බසින්නා වූ පින්වතුන් විසින් කායානුපස්සනා සතිපට්ඨානය ම භාවනා කළ යුතු ය. සතිපට්ඨානය යි කියනුයේ යෝගාවචරයන් විසින් තමන් ගේ සිත තබා ගැනීමට බලාපොරොත්තු වන ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි අරමුණක යටත් පිරිසෙයින් පැය භාගයක් පැය කාලක් පමණ වත් අන් අරමුණකට නොයන පරිදි සිත නැවැත්විය හැකි වන පරිදි දියුණු වූ සිහියට ය. ආදියෙහි භාවනාවට බට යෝගාවචරයාගේ සිත ඉතා ඉක්මණින් ම භාවනාව කරන අරමුණෙන් බැහැරට යන්නේ ය.

ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි ආරම්මණයෙන් බැහැරට ගියා වූ සිත උත්සාහයෙන් නැවත නැවත ඒ ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි ආරම්මණයට ගනිමින් සිත පුරුදු කරන කල්හි ක්‍ර‍මයෙන් සිහිය වැඩෙන්නේය. සිහිය වැඩුණු වැඩුණු පමණට යෝගාවචරයා හට වඩ වඩා දික් කාලයක් ආශ්වාස ප්‍ර‍ශ්වාසාදියෙහි සිත නවත්වා ගත හැකි වන්නේ ය. දියුණු වූ සිහිය යෝගාවචරයා ගේසිතට ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි ආරම්මණය නැවත නැවත මතු කර දෙන්නේ ය. සිතට ඉන් බැහැරට යන්නට නො දෙන්නේ ය. යෝගාවචරයාට සිත වැඩි වේලාවක් වුවමනා අරමුණෙහි තැබිය හැකි වන්නේ දියුණු වූ ඒ සිහියට ය. සතිපට්ඨාන භාවනාවය යි කියනුයේ ඒ තත්ත්වයට පැමිණෙන සැටියට සිහිය දියුණු කිරීමට ය.

කායානුපස්සනා සතිපට්ඨානය යි කියනුයේ ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි කායයන් මගින් දියුණු කර ගන්නා ලද සිහියට ය. සතර සතිපට්ඨානයෙන් එක් සතිපට්ඨානයක් භාවනා කිරීම ම නිවන් දැකීමට ප්‍ර‍මාණ වේ. එක් සතිපට්ඨානයක් ඇති කර ගත් කල්හි ඉතිරි සතිපට්ඨාන තුන ද ඇති කර ගත්තා වැනි වේ. එ බැවින් මෙහි කායානුපස්සනා සතිපට්ඨානය ගැන පමණක් සංක්ෂේප විස්තරයක් කරනු ලැබේ.

මහා සතිපට්ඨාන සූත්‍රයෙහි කායානුපස්සනා සතිපට්ඨාන භාවනා ක්‍ර‍ම තුදුසක් වදාරා තිබේ. ඒ තුදුස නම් :- ආශ්වාස ප්‍ර‍ශ්වාස මෙනෙහි කිරීම ය, ගමනාදි ඊර්‍ය්‍යාපථයන් මෙනෙහි කිරීම ය, චතුසම්පජඤ්ඤ වශයෙන් භාවනාව ය, ප්‍ර‍තික්කූල මනස්කාරය ය, ධාතුමනස්කාරය ය, සීවථිකයන් පිළිබඳ වූ මනස්කාර නවය ය යන මොහු ය. ඒ තුදුස අතුරෙන් ද බොහෝ යෝගාවචරයන් පුරුදු කරනුයේ ආශ්වාස ප්‍ර‍ශ්වාස මනස්කාරය, ප්‍ර‍තිකූල මනස්කාරය, ධාතුමනස්කාරය යන තුන ය. ඒ තුනෙන් ධාතු මනස්කාරය කළ යුතු සැටි අප විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍ර‍මය පොතේ දක්වා ඇත.

ආනාපානසති භාවනාව

ආන යනු ආශ්වාසයට (නාසයෙන් ශරීරය තුළට ඇද ගන්නා වාතයට) නමෙකි. අපාන යනු ප්‍ර‍ශ්වාසයට (නාසයෙන් පිට කරන වාතයට) නමෙකි. ආන අපාන යන වචන දෙක සන්ධි වීමෙන් ආනාපාන කියා වේ. ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක අරමුණු කොට පවත්නා සිහිය ආනාපානසති නම් වේ. නැවත නැවත පැවැත්වීම් වශයෙන් ඒ සිහිය දියුණු කිරීම ආනාපානසති භාවනාව ය. සියලු ම ලොව්තුරා බුදුවරයන් බුදුබවට පැමිණෙන්නේ ආනාපානසති භාවනාව පදනම කරගෙන ය. ආනාපාන සතියේ මාර්ගයෙන් ලොව්තුරා බුදුබවට හා පසේ බුදුබවට ද රහත් බවට ද පැමිණියා වූ උත්තම පුද්ගලයන්ගේ ප්‍ර‍මාණයක් නැත්තේ ය. මේ ආනාපාන සති සමාධිය බුදුන් වහන්සේ විසින් වර්ණනා කර තිබෙන්නේ මෙසේ ය.

අයම්පි ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණිතො ච අසෙචනකො ච සුඛරො ච විහාරො උප්පන්නුප්පන්නෙ ච පාපකෙ අකුසලෙ ධම්මේ ඨානසො අන්තරධාපෙති වූපසමෙති.

මහණෙනි, වඩනා ලද්දා වූ නැවත නැවත පුරුදු කරන ලද්දා වූ මේ ආනාපාන සති සමාධිය ශාන්ත ද වේ. ප්‍ර‍ණීත ද වේ. ස්වභාවයෙන් ම මිහිරි ද වේ. කායික චෛතසික සුඛයට හේතු ද වේ. උපනුපන් ලාමක වූ අකුශල ධර්මයන් සැණෙකින් අතුරුදහන් කෙරේය සන්සිඳුවාය යනු එහි තේරුම යි.

මේ භාවනාව කරන්නට බලාපොරොත්තු වන සත්පුරුෂයා විසින් පළමු කොට ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක ගැන දැන ගත යුතු ය. නාසයේ අග මහත් ය. ඒ මහත් කොටස අඟලකුත් ඇති නැති තරම් ය. ඊට උඩින් ඇත්තේ කුඩා සිදුරෙකි. ඒ සිදුරෙන් පිටතට එන වායු ධාරාව වතුර පිරුණු බඳුනක කුඩා සිදුරකින් පිටතට විදින ජලධාරාවක් වැනි ය. ඒ වායුධාරාව දික් නාසය ඇතියවුන්ගේ නාසයේ අග ඇතුළු පැත්තේ සැපෙමින් පිට වන්නේ ය. නාසගේ අග පහතට නැමී ඇති අයට එය වඩාත් ප්‍ර‍කට ය. එසේ පහතට නො නැමුණු නාස්වල එය සැපෙන්නේ ඉතා ස්වල්ප වශයෙනි. එ බැවින් නො නැමුණු නාස් ඇතියවුන් විසින් එය බොහෝ පරීක්ෂාකාරීව සිට තේරුම් ගත යුතු ය. පුඩු මහත් වූ කෙටි නාස් ඇතියවුන් ගේ නාස් අග්වල ඒ වායුධාරාව නො සැපේ. එය ඔවුන්ගේ උඩුතොලේ අග සැපේ. එය ද තොල්වල හා නාසයේ පිහිටීමේ සැටියෙන් සමහරුන්ගේ තොල් අග තදින් ද සමහරුන්ගේ තොල් අග තේරුම් ගන්නට බැරි පුළුවන් තරමට ද සැපේ.

භාවනාවට පටන් ගන්නා සෑම දෙනා විසින් ම පළමුකොට තදින් හුස්ම ඉහළ පහළ ගෙන වායුධාරාව සැපෙන තැන සොයා ගත යුතු ය. තේරුම් ගත යුතු ය. ආනාපාන භාවනාව පුරුදු කර නැතියවුන්ට වායුධාරාව සැපෙන තැන දත හැකි වන්නේ තදින් හුස්ම හෙළන විට ය. තදින් හුස්ම හෙළා එය සැපෙන තැන දැන ගත් පසු සිහි කල්පනාවෙන් සිටියාම සෙමින් එන වායුධාරාව ද සැපෙනු දත හැකි ය. සැපෙන තැන දැන ගැනීමට නිතර ම තදින් හුස්ම හෙළමින් භාවනා කරන්නට ගිය හොත් ඉක්මනින් වෙහෙසට පත් වී භාවනා නො කළ හැකි තැනට පත් වන නිසා නියම භාවනාවට බසින්නට මත්තෙන් ම ප්‍ර‍කෘති ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව තේරුම් ගත හැකි වන තැනට පුරුදු කරගත යුතු ය. වෙහෙස නැති ව භාවනාවෙහි යෙදිය හැකි වන්නේ ප්‍ර‍කෘති ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක සිතට හසු කර ගැනීමට සමර්ථ වූ විට ය.

නාසයෙන් ඇතුළු වන වායුව එක් නළයක් දිගේ ගොස් දෙකට බෙදී පෙණහලුවලට ඇතුළු වන නමුත් යෝගාවචරයන්ට වැටහෙන්නේ එක ම ධාරාවක් වශයෙන් පෙකණිය දක්වා බැස ගොස් නැවත ඉහළ එන සේ ය. භාවනාවේ පරමාර්ථය ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව ගමන් කිරීමේ ආකාරය සත්‍ය වශයෙන් සෙවීම නොව සිත එකඟ කිරීම ය.

එ බැවින් සිතට වැටහෙන පරිදි එක ධාරාවක් වශයෙන් පෙකණිය දක්වා බැස යන්නක් සැටියට ම සැලකිය යුතු ය. නාස් සිදුරු දෙකින් නිරතුරු ව ම එක ගණනට ම වායුව එහා මෙහා ගමන් කරන්නේ ද නො වේ. ඒ දෙකින් එකක් නිතරම වාගේ වැසී පවතී. එකකින් වායුව එහා මෙහා ගමන් කරයි. සමහර අවස්ථාවලදී දෙකින් ම සමව ද වායුව ගමන් කරයි. එබඳු අවස්ථා අඩු ය. ඒ ගැන වැඩි විස්තර දැන ගනු කැමති නම් නළ ශාස්ත්‍ර‍ පොත්වලින් දත යුතු ය. භාවනා කිරීමේදී වායුධාරා දෙකක් නාස් පුඬු දෙකින් වෙන වෙන ම නික්මෙන ඇතුළු වන සැටියට වැටහේ නම් එසේ මෙනෙහි කරනු. එක ම වායුධාරාවක් සැටියට වැටහේ නම් එසේ එක් ධාරාවක් සැටියට මෙනෙහි කරනු.

ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව සැපෙන තැන තේරුම් ගත්තා වූ තැනැත්තා විසින් භාවනාවට යෝග්‍ය තැනකට ගොස් භාවනාවට පටන් ගත යුතු ය. ශබ්ද නො ඇසෙන්නා වූ මැසි මදුරුවන් නැත්තා වූ පවිත්‍ර‍ වාතය ඇත්තා වූ ස්ථානය භාවනාවට සුදුසු තැන ය. ශබ්දය සමාධියට බාධක ය. එබැවින් ශබ්දය ඇති තැන භාවනාවට නුසුදුසු ය. ලෝකයෙහි සර්වාකාරයෙන් ශබ්දයක් නො ඇසෙන තැනක් නම් නො ලැබිය හැකි ය. එ බැවින් සමාධියට බාධක ශබ්ද අඩු තැන සුදුසු තැන සැටියට සැලකිය යුතු ය. මැසි මදුරුවෝ ශබ්දයට ද වඩා සමාධියට බාධකයෝ ය. මැසි මදුරුවන් එළවමින් භාවනා කොට සමාධියක් නො ලැබිය හැකිය. එබැවින් භාවනා කරන තැන මැසි මදුරුවන් බහුල තැනක් නම් දුම් ගැස්වීම් ආදී යම්කිසි ක්‍ර‍මයකින් උන් පලවා හැර භාවනාවට පටන් ගත යුතු ය. තමන් සමීපයට උන්ට නො පැමිණෙන ලෙස මදුරුදැල් ආදියෙන් ආවරණයක් හෝ ඇති කර ගත යුතු ය.

අපවිත්‍ර‍ වාතය යයි කියන ලද්දේ දුර්ගන්ධ වාතයට ය. නිකම්ම සිටීමේ දී නොදැනෙන ඉතා මඳ ගන්ධය පවා ආනාපාන භාවනාව කරන කල්හි තදින් දැනෙන්නට වන්නේ ය. පවිත්‍ර‍ වාතය ඇති තැනක් සොයා ගත යුතු වන්නේ ඒ කරදරය ද සමාධියට බාධාවක් නිසා ය. නගරවල ගෙවල් බහුල තැන්වල ආනාපාන භාවනාව කිරීමේ දී ගද දුර්ගන්ධයක් දැනේ. ඒ ප්‍රදේශවල නිතර ම පවත්නේ ගන්ධය ය. එහෙත් භාවනා නො කරන්නවුන්ට එය නො දැනේ. ගෙවල් අඩු ප්‍රදේශවල වාතය පවිත්‍ර‍ ය. ඒ ප්‍රදේශවල දී එ බඳු ගඳ නො දැනෙන්නේ ය. තමා ගේ ශරීරය හා වස්තු ද පිරිසිදු ව තබා ගත යුතු ය. භාවනා නො කරන කල නො දැනෙන භාවනාවට පටන් ගත් කල දැනෙන්න ට පටන් ගන්නා ගන්ධයන් සමහර විට තමා ගේ ශරීරයේ වස්ත්‍ර‍වල තිබිය හැකි ය. භාවනා කරන ස්ථාන සමීපයේ සුවඳ වර්ග තිබීම හොඳ ය.

මේ භාවනාව සඳහා වාඩිවීමට සම්කඩ ඉතා හොඳ බව යෝගාවචරයෝ කියති. සම්වලින් ද දිවිසම හා මුව සම වඩා යහපත් බව කියති. පෙර යෝගාවචරයන් ද සම්කඩක් පාවිච්චි කර තිබෙන බව පොත පතේ නොයෙක් තැන්වල සඳහන් වේ. බුදුන් වහන්සේ පවා සම්කඩක් පාවිච්චි කළ බව ඇතැම් කරුණුවලින් පෙනේ. “එවං අනුපහට්ඨන්තෙන පන තස්මිං න තෙන භික්ඛුනා උට්ඨායාසනා චම්මක්ඛණ්ඩං පප්ඵොටෙත්වා ගන්තබ්බා” යන විශුද්ධි මාර්ග පාඨයෙන් ද පෙර යෝගාවචර භික්ෂූන් වහන්සේලා සම්කඩක් පාවිච්චි කළ බව පෙනේ. එය පාවිච්චි කර තිබෙන්නේ එහි යම් කිසි ගුණ විශේෂයක් ඇති නිසා විය හැකිය. එහෙත් සම්කඩක මිස අනිකක හිඳ භාවනා නො කළ යුතු ය යන නියමක් නැත. සම්කඩෙහි යම් කිසි ගුණ විශේෂයක් ඇතද නැත ද යන බව ස්ථිරව ම කියන්නට අපි නො දනිමු. සම්කඩක හිඳ ද අනෙකක හිඳ ද භාවනා කොට එය යෝගාවචරයන් විසින් විමසිය යුතු ය. උස් අසුනකට වඩා භාවනාවට පොළොව සුදුසු බව ද කියති. එය ද විමසිය යුත්තකි.

සුදුසු තැනට එළඹ පර්‍ය්‍යංකය බැඳ වාඩි වී ශරීරය ඉදිරියට හෝ පස්සට බර නො වන සැටියට කෙළින් තබා ගෙන, රත්නත්‍රයේ ගුණ මෙනෙහි කිරීම් ආදි පූර්ව කෘත්‍යය කොට භාවනාවට පටන් ගත යුතු ය. භාවනාවේ පූර්වකෘත්‍යය විදර්ශනා භාවනා ක්‍ර‍මය නමැති පොතෙන් උගත යුතු ය. පර්‍ය්‍යංකය බැඳ වාඩිවීම දෙ පරිද්දෙකින් කළ හැකි ය. බුදුපිළිම තනා තිබෙන ක්‍ර‍මයට දෙපතුල් කලවා දෙක මත සිටින සේ වාඩිවීම එක් ක්‍ර‍මයෙකි. එයට පද්මාසනය යි ද කියති. යෝගයට වාඩිවීමේ ක්‍ර‍මවලින් උසස් ම ක්‍ර‍මය එය ය. එහෙත් හැම දෙන ම පද්මාසනයෙන් හිඳීමට සමත් නො වෙති. එසේ හිඳීම අපහසු පින්වතුන් විසින් පතුල් දෙක කලවා දෙකට යටවන පරිදි වාඩි විය යුතු ය. මේ ක්‍ර‍ම දෙකින් එකකටවත් වාඩි වීමට අසමත් අය වඩා උස් නො වන, වාඩි වූ කල දෙපතුල් බිම සිටින තරමේ අස්නක පා බිම තබා වාඩි වී ශරීරය කෙළින් තබා ගෙන භාවනා කළ යුතු ය. ස්ත්‍රීන්ට ද මේ ක්‍ර‍මය සුදුසු ය. ඉහත කී වාඩි වීමේ ක්‍ර‍ම දෙක ස්ත්‍රීන් ට අයෝග්‍ය ය. අර්ධ පර්‍ය්‍යංකය යි කියනු ලබන දෙපතුල් පිටිපසට නමා වාඩිවීමේ ක්‍ර‍මය ද ස්ත්‍රීන් ට යෝග්‍ය ය.

මේ ආනාපාන භාවනාව සිහි නුවණින් යුක්තව කියන ලද පරිදි ක්‍ර‍මය නොඉක්මවා කර ගෙන යන්නා වූ යෝගාවචරයා ගේ සන්තානයෙහි ක්‍ර‍මයෙන් සමාධිය හා ඥානය වැඩෙන්නේ ය. කාමච්ඡන්දාදි නීවරණයෝ තුනී වන්නාහ. සමාධි ප්‍ර‍ඥාවන්ගේ වැඩීම හා නීවරණයන්ගේ තුනීවීම නිසා ඒ යෝගාවචරයා හට යම් කිසි දිනකදී ආනාපාන ප්‍ර‍තිභාග නිමිත්ත වැටහෙන්නේ ය. අනුබන්ධන ක්‍ර‍මයෙන් ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව අනුව සිත ගමන් කරමින් සිටින්නා වූ යෝගාවචරයා හට ඒ වායුව පළමු වැටහෙමින් තිබූ ආකාරයට වෙනස් වූ දීප්තිමත් වූ අතිශයින් ප්‍රියංකර වූ ආකාරයකට වැටහෙන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්තය යි කියනුයේ ඒ වැටහෙන දෙයට ය. එය ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව නො වේ. ඒ වායුව නිසා යෝගාවචරයා ගේ සිතට ඇති සැටියට දැනෙන සත්‍ය වශයෙන් නැති දෙයකි. එය යෝගාවචරයා විසින් කලින් ලෝකයෙහි දැක තිබෙන සෑම වර්ණයකට ම වඩා ශෝභන අතිශයින් ප්‍රියංකර වර්ණයෙකි. එහි ඇති අධික ප්‍රියංකරත්වය නිසා යෝගාවචරයාට බලවත් ප්‍රීතිය ඇති වේ. අධික ප්‍රීතිය හේතු කොට ඇති වන කම්පනය නිසා සමහර විට එකෙණෙහි ම ඒ නිමිත්ත යෝගාවචරයා ගෙන් අතුරුදහන් වෙයි.

ආනාපාන ප්‍ර‍තිභාග නිමිත්ත කසිණ ප්‍ර‍තිභාග නිමිති සේ සෑම දෙනාට ම සමාන ව වැටහෙන්නක් නො වේ. ශරීරවල පිහිටීම අනුව ද අදහස් අනුව ද යෝගාවචරයනට ආනාපාන ප්‍ර‍තිභාග නිමිත්ත අනේකාකාරයෙන් වැටහේ. එය ඒ ඒ පුද්ගලයන්ට තාරකාවක් සේ ද, මැණිකක් සේ ද, මුතු ගුලියක් සේ ද, ක්‍රෑර ස්පර්ශයෙන් යුක්ත ව කපු ඇට පෙළක් සේ ද, ලී කූරක් සේ ද, නූලක් සේ ද, මල්දමක් සේ ද, දුමක් සේ ද, මකුළු දැලක් සේ ද, වළාකුලක් සේ ද, නෙළුම් මලක් සේ ද, රෝදයක් සේ ද, හිරුමඬල සේ ද, සඳමඬල සේ ද, වැටහෙන බව විශුද්ධි මාර්ගයේ දක්වා තිබේ. තාරකාදියට සමාන ව නිමිත්ත වැටහෙන බව කියා තිබෙන බැවින් සර්වාකාරයෙන් ම තාරකාදියට සමාන නිමිති බලාපොරොත්තු නො විය යුතු ය. මේ නිමිති පිළිබඳ නිශ්චිත විස්තරයක් දීමට අපි සමත් නො වෙමු. ඒවා භාවනාවෙහි යෙදී තම තමන් විසින් ම සොයා ගත යුතු ය. යෝගාවචරයා හට කවර ආකාරයක් හෝ ඇති ප්‍ර‍තිභාග නිමිත්තක් පහළ වූයේ නම් එයින් තමා කෙරෙහි තිබූ නීවරණයන් යටපත් වූ බව ද, ක්ලේශයන් සන්සිඳුණු බව ද, සිහිය දියුණු වූ බව ද, උපචාර සමාධිය ලැබූ බව ද දත යුතු ය.

මේ ප්‍ර‍තිභාග නිමිත්ත ලෙහෙසියෙන් ලැබිය හැක්කක් නොවේ. එහෙත් මනා කොට රැක නො ගත හොත් වහා නැති වන්නකි. වරක් ලැබ නැති වූ කල්හි ද එය නැවත පහසුවෙන් නො ලැබිය හැකි ය. එ බැවින් එය ලැබූ තැනැත්තා විසින් උන් තැනින් නැඟී නො ගොස් එතැන ම හිඳ ගෙන, ඒ ආරම්මණයෙහි ධ්‍යාන උපදවා ගැනීමට වීර්‍ය්‍ය කළ යුතු ය. ඒ අවස්ථාවේදී ධ්‍යාන නො ලැබිය හැකි වී නම් අගනා මැණික් පොට්ටනියක් ලත් කෙනකු එය රක්නාක් මෙන් නිමිත්ත ආදරයෙන් ආරක්ෂා කර ගත යුතු ය. අන් වැඩවලට කාලය යෙදුව හොත් නිමිත්ත නැති විය හැකි ය. එ බැවින් අන් සියල්ල ම හැර හැකි තාක් භාවනාවෙහි ම යෙදිය යුතු ය. අසත්ප්‍රාය ස්ථාන පුද්ගලාදීන් හැර සත්ප්‍රාය ස්ථාන පුද්ගලාදීන් සේවනය කළ යුතු ය.

ආනාපාන භාවනාව පිළිබඳ වූ වායුවෙහි අනේකාකාර ඇත්තේ ය. ආශ්වාසයේ ආකාරය අනෙකකි. ප්‍ර‍ශ්වාසයේ ආකාරය අනෙකකි. ඒ එක එකක ද දික් බව කෙටි බව ඖදාරික බව සියුම් බව ආදී තවත් ආකාර ඇත්තේ ය. බොහෝ ඇති බව ධ්‍යානය ඇති වීමට බාධාවෙකි. එ බැවින් ආශ්වාස ප්‍ර‍ශ්වාසයෙහි ධ්‍යානය නූපදී. ප්‍ර‍තිභාග නිමිත්තෙහි අනේකාකාර නැත්තේ ය. එක් පුද්ගලයකු ලබන නිමිත්තෙහි ඇත්තේ එක ම ආකාරයෙකි. අනේකාකාර නැති බැවින් එහි ධ්‍යානය ලැබිය හැකි ය. එ බැවින් ධ්‍යාන ලැබීමට ප්‍ර‍තිභාග නිමිත්ත ලැබිය යුතු ම ය. ප්‍ර‍තිභාග නිමිත්ත ලත් යෝගාවචරයා විසින් ආශ්වාස ප්‍ර‍ශ්වාසයන් මෙනෙහි කරන්නට නො යා යුතු ය. ඒ යෝගාවචරයා විසින් පියවි ඇසින් යම් කිසිවක් දෙස බලා සිටින්නාක් මෙන් ස්වකීය චිත්තය නිමිත්තට යොමු කර ගෙන නිමිත්තෙහි පිහිටුවා ගෙන විසිය යුතු ය. එය ඔහු විසින් කළ යුතු භාවනාව ය.

නිමිත්ත අතුරුදහන් වුව හොත් සිත ආශ්වාස ප්‍ර‍ශ්වාසයන්ට යොමු කළ යුතු ය. ආශ්වාස ප්‍ර‍ශ්වාසයන් අනුව සිත පවත්වා ගෙන සිටින කල්හි නැවත නිමිත්ත පෙනෙන්නට වන්නේ ය. එය ඇසට පෙනීමක් නො වන බව ද සැලකිය යුතු ය. ප්‍ර‍තිභාග නිමිත්තෙහි සිත තබා ගෙන සිටින කල්හි ධ්‍යානය නො ලැබේ නම් දශ වැදෑරුම් වූ අර්පණා කෞශල්‍යය සම්පාදනය කරනු. ප්‍ර‍තිභාග නිමිත්ත ලැබීමෙන් පසු පිළිපැදිය යුතු ක්‍ර‍මය පිළිබඳ දත යුතු කරුණු බොහෝ ය. ඒවා විශුද්ධිමාර්ගාදි පොත්වලින් හෝ ගුරුවරයන්ගෙන් හෝ උගත යුතු ය. ප්‍ර‍තිභාග නිමිත්තෙහි සිත පිහිටුවා ගෙන සිටින කල්හි ඉන්ද්‍රිය සමත්වාදි එයට වුවමනා අන්‍ය කරුණු ද සම්පූර්ණ වූ අවස්ථාවකදී යෝගාවචරයා හට ඒ ආරම්මණයෙහි විතර්කාදි පඤ්චාංගයෙන් යුක්ත වූ ප්‍ර‍ථම ධ්‍යානය උපදින්නේ ය. ඉන්පසු යෝගාවචරයාගේ උත්සාහයේ සැටියට ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යානයෝ ද ඔහුට උපදනාහ. චතුර්ථධ්‍යානය දක්වා ධ්‍යාන උපදවා ගැනීම ආනාපාන භාවනාව පිළිබඳ සමථ ක්‍ර‍මයේ මස්තකප්ප්‍රාප්තියය, හෙවත් අවසානය ය.

ධ්‍යානයක් උපදවා ගත් තැනැත්තාට එයින් නො පිරිහී වාසය කළ හොත් ඒ රූපාවචර කුශල බලයෙන් මරණින් මතු බ්‍ර‍හ්මලෝකයට යා හැකි වන්නේ ය. ධ්‍යාන ලබා බ්‍ර‍හ්මලෝකයෙහි ඉපදීම ද නිවන් දැකීමට ඇති එක් ම‍ගෙකි. බ්‍ර‍හ්මලෝකවල ආයුෂය ඉතා දීර්ඝ ය. ඒවායේ ආයුඃ ප්‍ර‍මාණය පිරිසිදෙන්නේ වර්ෂ වලින් නොව කල්ප වලිනි. අති දීර්ඝ බැවින් ඒවායේ ආයුෂය වර්ෂවලින් නො පිරිසිඳිය හැකි ය. අප බුදුන් වහන්සේගේ ප්‍ර‍ථම ධර්ම දේශනය ඇසීමෙන් ම අටළොස් කෝටියක් බ්‍ර‍හ්මයින් සෝවාන් මගට පැමිණ නිවන් දුටු බව ධර්මචක්‍ර‍ සූත්‍ර‍ අටුවාවේ දක්වා තිබේ. තවත් තැන්වලදී බොහෝ බ්‍ර‍හ්මයන් මඟ ඵල ලබා නිවන් දුටු බව සඳහන් කොට තිබේ. බ්‍ර‍හ්මයන්ගේ ආයුෂයේ සැටියට බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසු ගත වී තිබෙන වර්ෂ දෙදහස් ගණන ඉතා කෙටි කාලයෙකි. එදා මඟ පල ලැබූ බ්‍ර‍හ්මයන්ගෙන් ඉතා වැඩි ගණනක් බ්‍ර‍හ්මයෝ අදත් එහි වාසය කෙරෙති.

බ්‍ර‍හ්මයෝ වනාහි කාමලෝකයේ දෙව් මිනිසුන් මෙන් කෑමෙන් බීමෙන් නැටුමෙන් ගැයුමෙන් ප්‍රීතිවෙමින් කල් යවන කොටසක් නොව ධ්‍යාන සුවයෙන් කල් යවන කොටසෙකි. සමාධිය, නුවණ ඇති වීමට නුවණ දියුණු තියුණු වීමට හේතුවෙකි. ධ්‍යාන සමාධිය ඇත්තා වූ ඒ බ්‍ර‍හ්මයනට තියුණු නුවණ ඇත්තේ ය. එ බැවින් ධර්මය අසන්නට ලද හොත් ඔවුනට එය වහා අවබෝධ වන්නේ ය. බුදුන් වහන්සේ සියැසින් දැක උන් වහන්සේගෙන් දහම් අසා මඟ පල ලබා සිටින බ්‍ර‍හ්මයන්ගෙන් ශුද්ධ වූ ධර්මය බ්‍ර‍හ්ම ලෝකයෙහි උපනුවන්ට අසා ගත හැකි ය. එ බැවින් ධ්‍යාන ලබා බ්‍ර‍හ්ම ලෝකයෙහි උපන හොත් බුදුන් දැක දහම් අසා මඟ පල ලබා නිවන් පසක් කර ගෙන සිටින බ්‍ර‍හ්මයන්ගෙන් දහම් අසා ඔවුන් ඇසුරු කොට විදසුන් වඩා මඟ පල ලබා නිවන් දැකිය හැකිය.

මේ කාලයේ මිනිස් ලොව බුදුන් දුටු බුදුන්ගෙන් දහම් ඇසූ කෙනෙක් නැත. ධර්මයට අනුව පිළිපැද මඟ පල ලබා සිටින කෙනකු සොයා ගැනීම ද පහසු නැත. අපට තිබෙන්නේ පරම්පරා ගණනක් අතින් අතට ආ ධර්මයෙකි. සියැසින් බුදුන් දැක දහම් අසා ඒ ධර්මය අවබෝධ කරගෙන සිටින අය අතර තිබෙන ධර්මය අතිශයින් පරිශුද්ධ ය. එ බැවින් බ්‍ර‍හ්මලෝකයෙහි ඉපද බ්‍ර‍හ්මයන් අතර තිබෙන ධර්මය ඔවුන් ගෙන් අසා ගැනීම නිවන් දැකීමට මේ කාලයේ තිබෙන ඉතා ම හොඳ ක්‍ර‍මය බව ද නො වරදින ක්‍ර‍මය බව ද කිය යුතු ය.

මෙතේ බුදුන් දැක නිවන් දැකීමට බලාපොරොත්තු වන පින්වතුන්ට එය සිදු කර ගැනීමට ඇති නො වරදින මාර්ගය ධ්‍යාන වඩා බ්‍ර‍හ්මලෝකයෙහි ඉපදීම ය. එහි උපන හොත් මෙතේ බුදුන් ලෝ පහළ වන තුරු ම ජීවත්විය හැකි ය. මෙතේ බුදුන් පහළ වීම දක්වා ඉදිරියට ඇති කාලය ඉතා දීර්ඝ ය. එහි ප්‍ර‍මාණය වර්ෂවලින් නො පිරිසිඳිය හැකි ය. කාමස්වර්ගයෙහි ඉතා දීර්ඝ ආයුෂය ඇති තැන වූ පරනිර්මිත වශවර්ති දිව්‍ය ලෝකයෙහි වුව ද දහස් වරක් දස දහස් වරක් නියම ආයුෂය ගෙව ගෙවා මැරි මැරී උපනත් මෛත්‍රෙය බුදුන් උපදනා කාලය නො පැමිණේ. ඒ කාලය තවත් ඉදිරියේ ය.

අද මෙතේ බුදුන් පතන්නෝ කාමලෝකයෙහි උපදින්නාහු නම් ඒ අත ඔවුනට උපදින්නට මැරෙන්නට සිදු වන වාර ගණන සමහර විට ලක්ෂ ගණන ද ඉක්මවන ගණනක් විය හැකි ය. ඒ කාලයේ ඔවුනට කුමක් සිදු වේ දැ යි කාට කිව හැකි ද? සමහර විට සසර පව්කම් කොට මෙතේ බුදුන් පහළ වන කාලයේ දී ඔවුන්ගෙන් බොහෝ දෙනකු අපායවලට වී සිටිනුවන් විය හැකි ය. මෙතේ බුදුන් උපදනා කාලයේ අපායට වැටී සිටින්නට වුවහොත් උන් වහන්සේ නො දැකිය හැකි ය. දැකිය හැකි වූයේ ද නිවන් නො දැකිය හැකි ය. එ බැවින් ඒ බුදුසස්න ද ඔවුනට පලක් නැතිව ඉක්මෙන්නේ ය. බ්‍ර‍හ්ම ලෝකයෙහි උපන හොත් ඒ වැරදීම නො වන්නේ ය. එ බැවින් මෙතේ බුදුන් දැක නිවන් දැකීමට ඇති නො වරදින මාර්ගයත් ධ්‍යාන වඩා බ්‍ර‍හ්මලෝකයෙහි ඉපදීම බව කිය යුතු ය.

ධ්‍යාන ලැබීමෙන් බ්‍ර‍හ්මලෝකයේ ඉපදිය හැකි වෙනවා මිස නිවන් නො දැකිය හැකි ය. සසර දුකින් මිදී නිවන් දැකිය හැකි වන්නේ ලෝකෝත්තර මාර්ග ඵලයන් ලබා ගැනීමෙනි. ඒවා ලැබිය හැක්කේ විදර්ශනා භාවනාවෙනි. ආනාපාන භාවනාව සමථ භාවනාවෙකි. ආනාපාන භාවනාවෙන් ම හෝ වේවා අන් ක්‍ර‍මයකින් හෝ වේවා, කවර ක්‍ර‍මයකින් වුවත් සමාධිය ඇති කර ගතහොත් ඒ සමාධිය විදර්ශනා භාවනාවට අත්තිවාරමක් වේ. එ බැවින් බොහෝ යෝගාවචරයෝ පළමු කොට සමාධිය ඇති කරගෙන පසු ව විදර්ශනා වඩති. ආනාපාන භාවනාව කොට සමාධිය ඇති කර ගත් තැනැත්තා එයින් විදර්ශනා භාවනාවට අඩිතාලම ඇති කර ගත්තේ වේ. එය කර ගත් යෝගාවචරයා විසින් එ පමණින් නො නැවතී ලෝකෝත්තර මාර්ග ඵලයන්ට පැමිණෙනු පිණිස භාවනාව විදර්ශනාවට හරවා ගත යුතු ය. ආනාපාන භාවනාව දෙයාකාරයකින් විදර්ශනාවට ගෙන යා හැකි ය. එයින් එක් ආකාරයක් ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව මුල් කර ගෙන විදසුන් වැඩීම ය. දෙවන ආකාරය ආනාපාන ධ්‍යානය මුල් කර ගෙන විදසුන් වැඩීම ය.

ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව මුල් කොට විදර්ශනා වැඩිය යුත්තේ මෙසේ ය. එය කරනු කැමති සත්පුරුෂයා විසින් සමාධියෙන් නැගිට මේ ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව කුමක් ඇසුරු කොට පවත්නේදැ යි එහි නිශ්‍ර‍ය ය සෙවිය යුතු ය. විමසන්නා වූ යෝගාවචරයා හට ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව ශරීරය ඇසුරු කොට පවත්නා බව පෙනෙන්නේ ය. ඉක්බිති ශරීරය කුමක් ද? කුමකින් නිර්මිත වී තිබෙන දෙයක් ද? යන බව විමසිය යුතු ය. විමසන්නා වූ යෝගාවචරයා හට ශරීරය රූප ධාතු ගොඩක් බව වැටහෙන්නේ ය. රූප ධාතු සමූහය හොඳින් තේරුම් ගත් පසු යෝගාවචරයා විසින් මේ රූපයන් සොයන්නේ රූපයන් පිරිසිදෙන්නේ රූපයන් දැනෙන්නේ හැඳින ගන්නේ කවරෙක් ද? කෙසේද? යන බව සෙවිය යුතු ය. සොයන්නා වූ යෝගාවචරයා හට රූපයන් දැන ගන්නා වූ හැඳින ගන්නා වූ විඥානයන් පහළ වනු මිස ඒවා දැන හැඳින ගන්නා වූ සත්ත්වයකු පුද්ගලයකු නැති බව දැනෙන්නේ ය.

ඉක්බිති යෝගාවචරයා විසින් ශරීරය වූ පෘථිවි ධාත්වාදි සමූහය රූපය යි ද, ඒවා දැන ගන්නා වූ දක්නා වූ අරමුණු කොට උපදින්නා වූ චිත්ත ස්පර්ශ වේචනා සංඥා චේතනාදි ධර්ම සමූහය නාමය යි ද, වෙන් වෙන් වශයෙන් සිතට ගත යුතු ය. නාම රූප දෙකින් අන්‍ය වූ මම ය කියා කිසිවකු සත්‍ය වශයෙන් නැති බව තේරුම් ගත යුතු ය. එසේ තේරුම් ගැනීම දෘෂ්ටි විශුද්ධිය ය. ඉක්බිති ඒ නාමරූප ධර්ම සමූහය කෙසේ ඇති වූවක් දැ යි ඒවායේ ඇති වීමේ හේතු සෙවිය යුතු ය. කිසි හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැති ව ඉබේට ම මේ නාමරූප ධර්ම රාශියට ඇති විය නොහෙන බව ඔහුට අවබෝධ වන්නේ ය. දිව්‍ය බ්‍ර‍හ්මාදීන් ද නාම රූප ධර්ම රාශීන් ම වන බැවින් ඔවුන් මේ නාම රූපයන් ගේ උත්පාදකයන් නො වන බව ඔහුට වැටහෙන්නේ ය. නාම රූපයන් ඇති වූ සැටි ඇති වන සැටි තේරුම් ගැනීම පිණිස පටිච්චසමුප්පාදය මෙනෙහි කළ යුතු ය.

පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්නා වූ යෝගාවචරයා හට මේ නාම රූප ධර්ම සමූහය, ප්‍ර‍ත්‍යය වූ ද ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා වූ ද ධර්ම සමූහයක් බව වැටහෙන්නේ ය. ඔහුට මේ නාම රූප ධර්ම රාශිය අතීතයේ දී ද අවිද්‍යාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් හට ගැනුණු බව ද දැනුදු හටගන්නා බව ද අනාගතයේදීත් එසේ ම හට ගන්නා බවත් පෙනී කාලත්‍ර‍යට අයත් සකල සංස්කාරයන් ගේ ම උත්පත්ති හේතූන් පිළිබඳ වූ මම අතීතයේත් සිටියෙම් ද, අනාගතයෙහිත් සිටින්නෙම් ද, යනාදීන් පවත්නා වූ සියලු සැක දුරු වන්නේ ය. එය කඞ්ඛා විතරණ විසුද්ධිය ය. ඉක්බිති ඒ සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරමින් බලමින් සිටීමෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ග සතර ඵලයන්ට පිළිවෙලින් පැමිණ ඒ යෝගාවචරයා හට සියලු දුක් නසා නිවනට පැමිණිය හැකි වන්නේ ය. මේ ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව මුල් කොට විදසුන් වඩා රහත් වන ආකාරය යි.

ධ්‍යානය මුල් කොට විදසුන් වඩන ආකාරය මෙසේ ය. ධ්‍යාන ලාභී යෝගාවචරයා විසින් ධ්‍යානයට සමවැදී ඉන් නැගිට ධ්‍යානාංගයන් මෙනෙහි කොට මේ ධ්‍යානාංග කුමක් ඇසුරු කොට පවත්නේ දැ යි විමසිය යුතු ය. විමසන්නා වූ ඔහුට ශරීරය ධ්‍යානාංගයන් පවත්නා ස්ථානය සැටියට පෙනෙන්නේ ය. ඉක්බිති ශරීරයට අයත් රූපයන් හැඳින ගෙන, නාම රූප දෙක වෙන් කර ගෙන, ඒවායේ ප්‍ර‍ත්‍යයන් සොයා ගෙන නාම රූප ධර්ම සමූහය අනිත්‍යාදි වශයෙන් බලන්නට පටන් ගත යුතු ය. එසේ කිරීමෙන් පිළිවෙලින් සතර මාර්ග සතර ඵලයට පැමිණ නිවන් දක්නේ ය.

ධ්‍යාන සැම දෙනාට ම නො ලැබිය හැකි ය. ධ්‍යාන ලබා ම විදර්ශනා වඩන්නට සිටිය හොත් මේ ජීවිතයේ එය කරන්නට නො ලැබී යා හැකි ය. ධ්‍යාන ලැබීමය මඟ පල ලැබීමය යන දෙකින් ප්‍ර‍ධාන දෙය මඟ පල ලැබීම ය. ධ්‍යාන නො ලබා එය ලැබිය හැකි ය. එ බැවින් ධ්‍යාන ලැබෙන තුරු නො සිට ශමථ විදර්ශනා දෙක ම එකට ම කර ගෙන යාම වඩා සුදුසු ය. ශමථය නැති ව ශුද්ධ විදර්ශනාව ම වුව ද කර ගෙන යාම හොඳ ය. පටන් ගැනීමේ දී තරමක් දුරට ශමථය පුරුදු කොට විදර්ශනාවට පටන් ගැනුම ද සුදුසු ය. මෙතෙකින් ආනාපාන භාවනා විස්තරය නිමියේ ය.

වේදනානුපස්සනා සතිපට්ඨානය

සුඛ වේදනාව, දුඃඛ වේදනාව ය, අදුඃඛමසුඛ වේදනාව ය යි වේදනා තුනෙකි. සාමාන්‍ය ජනයා විසින් සැපය ය කියා ද, සනීපය කියා ද සමහර විට හොඳ ය කියා ද, ව්‍යවහාර කරන්නා වූ ඉවසීමට ලැබීමට පිළිගැනීමට කැමති වන්නා වූ ස්වභාවය සුඛ වේදනාව ය. දුක ය කියා ද, රිදුම ය කියා ද, නරකය කියා ද, ව්‍යවහාර කරන්නා වූ ඉවසීමට දුෂ්කර වූ පිළිගැනීමට ලැබීමට නො කැමති වන්නා වූ ස්වභාවය දුඃඛ වේදනාව ය. සැපත් නො වන දුකත් නො වන මධ්‍යස්ථ ස්වභාවය අදුක්ඛමසුඛ වේදනාව ය. උපේක්ෂා වේදනාව යනු ද එයට ම කියන අනෙක් නමෙකි. තෙ වැදෑරුම් වූ ම මේ වේදනාව සිත හා බැඳී උපදනා වූ පවත්නා වූ එක්තරා ස්වභාවයෙකි. තවත් ක්‍ර‍මයකින් කියතහොත් චෛතසික ධර්මයෙකි. වේදනා තුනෙන් සුඛ දුඃඛ වේදනා දෙක ඉතා ප්‍ර‍කට ය. උපේක්ෂා වේදනාව අප්‍ර‍කට ය. එබැවින් එයට ජනයා වැඩි සැලකිල්ලක් නො දක්වති. උපේක්ෂා වේදනාව සුඛ වේදනා දුඃඛ වේදනා දෙකට අනුව සිතා දත යුත්තෙකි. සුඛ වේදනා දුක්ඛ වේදනා දෙකින් එකකුදු නැති කල්හි සිත්හි ඇති ස්වභාවය උපේක්ෂා වේදනාව ය.

වේදනාව සැම දෙනා ම හඳුනන සැම දෙනාට ම ඉතා ප්‍ර‍කට දෙයක් වුව ද එහි සැබෑ තත්ත්වය සාමාන්‍ය ජනයා නො දනිති. එ බැවින් මම සැප විඳිමි ය, මම දුක් විඳිමි ය, අසවලා සැප විඳීය, අසවලා දුක් විඳීය යි වේදනාව ගැන ආත්ම සංඥාව ද, සත්ත්ව පුද්ගල සංඥාව ද, ඔවුනට ඇති වේ. විඳින්නේ මම ය කියා සත්කාය දෘෂ්ටිය ඇති වේ. තවත් ලෝභාදි බොහෝ ක්ලේශයෝ ද වේදනාව නිසා උපදිති. සුඛ වේදනාව ලැබීම සඳහා ද දුඃඛ වේදනාවෙන් මිදීම සඳහා ද සත්ත්වයෝ නොයෙක් පව් කම් කරති. බොහෝ දුක් ඇත්තා වූ සසරට, සුඛ වේදනාව නිසා ඇලුම් කෙරෙති. අනිත්‍ය වූ සුඛ වේදනාවේ අභාවප්‍රාප්තිය ගැන දුක් වෙති. තැවෙති. අනිත්‍ය වූ සුඛ වේදනාව නිත්‍ය කර ගැනීමට වෙහෙසෙති. වේදනාව පිළිබඳ වූ මුලාව නිසා සත්ත්වයනට සසර දුකින් මිදී නිවන් දැකීමට දුෂ්කර වී තිබේ.

පස් කම් සුවයෙහි ඇලී ගැලී සිටින එය ම සොයමින් සිටින ගිහියන්ට තබා, සසර කලකිරී පැවිදි ව වන ගත ව වෙසෙන පැවිද්දන්ට ද, වරින් වර ඔවුන් කෙරෙහි ඇතිවන්නා වූ සුඛ දුඃඛ වේදනාවන් නිසා තෘෂ්ණා මාන දෘෂ්ට්‍යාදි බොහෝ ක්ලේශයෝ උපදිති. දුඃඛ වේදනාව නිසා බොහෝ යෝගාවචරයෝ යෝගය හැර දමති. යෝගාවචරයනට සුඛ වේදනාව නිසා කාමච්ඡන්ද නීවරණය ඇති වේ. දුඃඛ වේදනාව නිසා ව්‍යාපාද නීවරණය ඇති වේ. උපේක්ෂා වේදනාව නිසා ථීනමිද්ධ නීවරණය හා අවිද්‍යා නීවරණය ඇති වේ. සාමාන්‍යයෙන් වේදනාව නිසා නීවරණ සියල්ල ම ඇති වන බව කිය යුතුය. ඒ සියල්ල ම වන්නේ වේදනාවේ සැබෑ තත්ත්වය නො දැනීම නිසා ය. වේදනා පිළිබඳ මුළාව දුරු වීම පිණිස සැම දෙනා විසින් ම එක්තරා ප්‍ර‍මාණයකින් වේදනානුපස්සනා සතිපට්ඨානය වැඩිය යුතු ය. එය යෝගාවචරයන් හට මූල කර්මස්ථානය කර ගැනීමට සුදුසු නැත. කායානුපස්සනාව මූල කර්මස්ථානය කරගත යුතු ය. වේදනානුපස්සනාව අතිරේක භාවනාවක් වශයෙන් කළ යුතු ය. වේදනානුපස්සනා භාවනාවය යනු වේදනාවෙහි සැබෑ තත්ත්වය සොයා ගෙන, එය නැවත නැවත මෙනෙහි කිරීම ය.

වේදනාවේ සැබෑ තත්ත්වය මෙසේ ය. වේදනාව සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ. සත්ත්වයකු පුද්ගලයකු විසින් උපදවන්නක් ද නො වේ. සත්ත්වයකු විසින් ඉපදවිය හැකියක් ද නො වේ. එය හේතූන්ගේ සංයෝගයෙන් ඇති වන්නකි. ඇති වූ වහා බිඳී යන්නකි. නො බිඳී පැවතිය හැකි ශක්තියක් වේදනාවට නැත. උපන් වේදනාවකට බිදෙන්නට නොදී පැවැත්විය හැකි, රැකිය හැකි, ශක්තියක් කාහටවත් නැත. වේදනාව අනිත්‍ය ධර්මයෙකි. දුක්ඛ ධර්මයෙකි. අනාත්ම ධර්මයෙකි.

ආලෝකය ඇති කල්හි ඇස ඉදිරියේ තිබෙන වස්තු පෙනෙන්නේ ය. පෙනීම ය යනු ඒ ඒ වස්තූන් පිළිබඳ ව දැනුමක් ඇති වීම ය. ඒ දැනුමට ආගමික පොත්වල දැක්වෙන නම චක්ඛුවිඤ්ඤාණය යනු යි. චක්ඛුවිඤ්ඤාණයට ලෝකයෙහි දැකීම යයි ද පෙනීම ය යි ද කියති. ඒ පෙනීම කිසිවකු විසින් ඇති කරන්නා වූ දෙයක් නො වේ. කිසිවකු විසින් ඇති කළ හැකි දෙයක් ද නො වේ. මම දකිමි යි සිතීම වැරදි හැඟීමෙකි. අනිකා දැකීම යි සිතීම ද වැරදි හැඟීමෙකි. මේ දැකීම පුද්ගලයා විසින් කරන්නක් නම්, චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන්නක් නම්, පුද්ගලයාට දැකීම සිදුවන්නට නො දී, චක්ඛු විඤ්ඤාණයට උපදින්නට නො දී සිටිය හැකි විය යුතු ය.

ඇස ඇත්නම්, ආලෝකය ඇත්නම්, ඇස ඉදිරියේ රූප ඇති නම්, දැකීම සිදුවීම පුද්ගලයාට වැළැක්විය නො හැකි ය. චක්ඛුවිඤ්ඤාණයේ ඉපදීම පුද්ගලයාට වැළැක්විය නො හැකි ය. නො පෙනේවා යි කොතෙක් සිතුවත් පෙනීම සිදුවන්නේ ම ය. ඉදින් දැකීම හෙවත් චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන්නක් නම් ඔහුට එය නූපදවා සිටිය හැකි විය යුතු ය. ඔහුට එය නො වැළැක්විය හැක්කේ, ඇස ඉදිරියේ ඇති රූප නො දැක සිටිය නො හැක්කේ, දැකීම හෙවත් චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන්නක් නො ව, අන් හේතුවකින් ඇති වන්නක් බැවිනි.

චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන, පුද්ගලයා අයත් දෙයක් නම් දුර තිබෙන රූප ද ඔහුට දැකිය හැකි විය යුතු ය. එය නො කළ හැකි වන්නේ ද චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන පුද්ගලයාට අයත් දෙයක් නො වන බැවිනි. මේ දැකීම හෙවත් චක්ඛුවිඤ්ඤාණය, ඇසත් රූපයත් නිසා ඇති වන්නකි. එය සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ. දැකීම නමැති ක්‍රියා විශේෂයෙකි. තවත් ක්‍ර‍මයෙකින් කියත හොත් විඤ්ඤාණයෙකි. මම දකිමි ය, අනෙක දකීය ය යි කියනුයේ මම නො වූ අනිකකු නොවූ ධාතු මාත්‍ර‍යක් වූ චක්ඛුවිඤ්ඤාණය මම ය කියා ද, අනිකාය කියා ද වරදවා තේරුම් ගැනීමෙනි.

වේදනාව ද චක්ඛුවිඤ්ඤාණය වැනි වූ අරූප ධර්මයෙකි. චක්ඛුවිඤ්ඤාණය සේ ම ප්‍ර‍ත්‍යයන්ගේ සංයෝගයෙන් හට ගන්නා ධර්මයෙකි. චක්ඛුවිඤ්ඤාණය සත්ත්වයා පුද්ගලයා නො වන්නාක් මෙන් ම වේදනාව ද සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ. පුද්ගලයකුට චක්ඛුවිඤ්ඤාණය ඉපදවිය නො හැකි වන්නාක් මෙන් ම වේදනාව ද පුද්ගලයකු විසින් නො ඉපද විය හැකි ය. ප්‍ර‍ත්‍යයන්ගේ සංයෝගය ඇති වුව හොත් චක්ඛුවිඤ්ඤාණයේ ඉපදීම පුද්ගලයාට නො වැළැක්විය හැකිවාක් මෙන් ම ප්‍ර‍ත්‍යයන්ගේ සංයෝගය ඇති වුවහොත් වේදනාව ඉපදීම ද පුද්ගලයාට නො වැළැක්විය හැකිය. කියන ලද කරුණු නැවත නැවත නුවණින් සලකා බලා වේදනාවේ සැටි හොඳින් තේරුම් ගත යුතු ය. හොඳින් තේරුම් ගෙන තමා ගේ සන්තානයේ ඇති වන්නා වූ ද අනුන්ගේ සන්තානවල ඇති වන්නා වූ ද, සුඛාදි වේදනාවන් ගැන අවකාශ ඇති පරිදි භාවනා කළ යුතු ය. තමා ගේසන්තානයෙහි උපදනා සුඛාදි වේදනාවන් ගැන භාවනා කළ යුත්තේ මෙනෙහි කළ යුත්තේ මෙසේ ය.

භාවනා වාක්‍යය

මේ සුඛ වේදනාව මා විසින් උපදවන ලද්දක් නො වේ. අනිකකු විසින් උපදවන ලද්දක් ද නොවේ. මේ සුඛ වේදනාව මම ද නො වේ. මාගේ ද නොවේ. අනිකෙක් ද නොවේ. අනිකකුගේ ද නොවේ. එය ආරම්මණාදි ප්‍ර‍ත්‍යයන් නිසා ඇතිවන්නා වූ එක්තරා අරූප ධර්‍මයෙකි. සිත කය දෙක නිසා ඇති වන්නා වූ අරූප ධර්‍මයෙකි. එය ප්‍ර‍ත්‍යයන් නිසා ඉපද බිඳී යන බැවින් ද පරම්පරාව සිඳී යන බැවින් ද අනිත්‍ය ධර්‍මයෙකි. අනිත්‍ය නිසා ම දුඃඛ ධර්‍මයෙකි. දුක නිසා ද හරයක් නැති නිසා ද අනාත්ම ධර්‍මයෙකි.

ඉතිරි වේදනා දෙක ගැන ද කියන ලද්දට අනුව වාක්‍ය යොදා ගෙන භාවනා කරනු. දුඃඛ වේදනාව පිළිබඳ භාවනාවේ දී අනිත්‍ය නිසා දුඃඛ ධර්මයකැයි නො කියා ඉවසීමට දුෂ්කර නිසා නො මනා නිසා දුඃඛ ධර්මයෙකැයි වාක්‍යය යොදා ගත යුතු ය. උපේක්ෂා වේදනාව පිළිබඳ භාවනාවේ වෙනසක් කරන්නට දෙයක් නැත. සුඛ වේදනාව දුක වන්නේ බිදෙන නිසා ය. සුඛය නැති වී යාම දුකෙකි. දුඃඛ වේදනාවේ බිඳීම අභාවප්‍රාප්තිය සැපයෙකි. පැවැත්ම එහි දුක ය. කලින් කල මෙසේ වේදනාව පිළිබඳව භාවනා කරන යෝගාවචරයා හට වේදනාව නිසා ඇති වන තෘෂ්ණා මාන දෘෂ්ට්‍යාදීන් ගේ ඇති වීම මඳ වන්නේ ය. වේදනාව නිසා සිදු වන පව් සිදු නො වන්නේ ය. මූල කර්මස්ථානය වඩා ඔහුට ලෝකෝත්තර මාර්ගයට පැමිණීම පහසු වන්නේ ය. වේදනානු පස්සනාව දියුණු කොට චතුස්සත්‍යයට නඟා භාවනා කිරීමෙන් අර්හත්වයට ද පැමිණිය හැකි ය. එහෙත් එය පහසු නො වන බැවින් වේදනානුපස්සනාවෙන් මඟ පල ලබන්නට බලාපොරොත්තු නොවිය යුතු ය.

චිත්තානුපස්සනා සතිපට්ඨානය

සිත ද තදින් ආත්ම දෘෂ්ටිය ඇති වන තැනකි. සිත සම්බන්ධයෙන් ඇති වන ආත්ම දෘෂ්ටිය දුරු කර ගැනීමට චිත්තානුපස්සනා සතිපට්ඨානය වැඩිය යුතු ය. සිත සාමාන්‍යයෙන් එකක් වුව ද එහි ප්‍රභේද බොහෝ ය. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි සිත සොළොස් ආකාරයකට බෙදා දක්වා තිබේ. ඒ මෙසේ ය -

  1. සරාග චිත්තය
  2. වීත රාග චිත්තය
  3. සදේස චිත්තය
  4. වීත දෝස චිත්තය
  5. සමෝහ චිත්තය
  6. වීත මෝහ චිත්තය
  7. සංඛිත්ත චිත්තය
  8. වික්ඛිත්ත චිත්තය
  9. මහග්ගත චිත්තය
  10. අමහග්ගත චිත්තය
  11. ස උත්තර චිත්තය
  12. අනුත්තර චිත්තය
  13. සමාහිත චිත්තය
  14. අසමාහිත චිත්තය
  15. විමුත්ත චිත්තය
  16. අවිමුත්ත චිත්තය

සරාග චිත්තය යනු රාගය සහිත වූ සිත ය. ආදරය, ආලය, ප්‍රේමය යන වචනවලින් කියැවෙන්නේ රාගය ය. සමහර පුද්ගලයන් සම්බන්ධයෙන් සමහර කෙනකුට රාගය යි කියන ලද ආදරය ඇති වේ. ආදරය ඇති වීම ය යනු රාග සහිත සිත පහළ වීම ය. සරාග සිත පහළ වූ තැනැත්තා මම අසවලාට බොහෝ ආදරය ඇත්තෙමියි සිත යි. කියයි. එසේ සිතන්නේ සරාග චිත්තය ආත්ම වශයෙන් වරදවා ගැනීමෙනි. සරාග චිත්තය ද ඉහත කී චක්ඛුවිඤ්ඤාණය සේ වේදනාව සේ රාගය වඩන අරමුණ හේතු කොට ගෙන සත්ත්ව සන්තානයෙහි ඇති වන්නකි. එය ඇති වූ පසු මම අසවලාට ආදරය ඇත්තෙමි යි කියනු ලැබේ. එසේ කියනුයේ චිත්තය සිතක් සැටියට නො ගෙන තමා සැටියට වරදවා ගැනීමෙනි. සරාග චිත්තය රාගය දියුණු වන අරමුණු නිසා ඇති වන්නක් මිස සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවේ. සරාග සිත සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයාට ඇති වන ඒ සත්ත්ව පුද්ගල සංඥාව හා ආත්ම සංඥාව ඇති නොවන ලෙස සරාග චිත්තය උපන් කල්හි ඒ සිත ගැන මෙනෙහි කිරීම චිත්තානුපස්සනා සතිපට්ඨානය වැඩීම ය. සරාග චිත්තය ගැන කරන භාවනාව මෙසේ ය.

භාවනා වාක්‍යය

මේ සරාග චිත්තය රාගයට හිත වූ අරමුණක් එළඹ සිටීම හේතු කොට උපන් ධර්මයෙකි. එය මම නොවේ. අනිකෙක් ද නො වේ. මාගේ ද නො වේ. අනිකකුගේ ද නො වේ. මා විසින් උපදවන ලද්දේ ද නො වේ. අනිකකු විසින් උපදවන ලද්දේ ද නො වේ. රාගයට හිත අරමුණ එළඹ සිටීමෙන් සරාග සිත තෙමේ ම උපන්නේ ය. එය වහා බිඳී යන බැවින් අනිත්‍ය ධර්මයෙකි. අනිත්‍ය බැවින් ම දුඃඛ ධර්‍මයෙකි. දුක් බැවින් ද හරයක් නො වන බැවින් ද අනාත්ම ධර්‍මයෙකි.

සරාග චිත්තය ආත්ම වශයෙන් හා ආත්මීය වශයෙන් ගන්නා වූ තැනැත්තා ගේ සන්තානයෙහි රාගය වැඩෙන්නේ ය. උපන් සරාග චිත්තය ගැන කියන ලද පරිදි අනිත්‍යාදි වශයෙන් සලකන්නා වූ තැනැත්තා ගේ සන්තානයෙහි එය නො වැඩෙන්නේ ය. භාවනාව හේතු කොට රාගය දුරු වී ඔහුගේ සන්තානයෙහි වීතරාග චිත්තයෝ පහළ වන්නා හ. වීතරාග චිත්තයෝ ය යනු රාග විරහිත චිත්තයෝ ය. වීතරාග චිත්තය කෙරෙහි ද ආත්ම සංඥාව ඇති විය හැකි ය. එය දුරු වීම පිණිස වීතරාග චිත්තය ආත්මයක් නො වන බව ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා දෙයක් බව තේරුම් ගන්නා ආත්ම සංඥාව දුරු වන ලෙස සිහිය පිහිට විය යුතු ය. භාවනා කළ යුතු ය.

භාවනා වාක්‍යය

මේ වීතරාග චිත්තය අරමුණක් එළඹ සිටීම හේතු කොට උපන් ධර්‍මයෙකි. එය මම නො වේ. මගේ ද නො වේ. අනිකෙක් ද නො වේ. අනිකකු ගේ ද නො වේ. එය මා විසින් උපදවන ලද්දේ ද නො වේ. අනිකකු විසින් උපදවන ලද්දේ ද නො වේ. ආරම්මණාදි ප්‍ර‍ත්‍යයන්ගේ සංයෝගයෙන් වීතරාග චිත්තය තෙමේ ම උපන්නේ ය. එය වහා බිඳී යන බැවින් අනිත්‍ය ධර්‍මයෙකි. අනිත්‍ය බැවින් දුඃඛ ධර්මයෙකි. දුක නිසා ද හරයක් නැති නිසා ද අනාත්ම ධර්‍මයෙකි.

සදෝස චිත්ත වීතදෝස චිත්තාදි ඉතිරි සිත් ගැන ද ස්වසන්තානයෙහි සිත් උපදනා සැටි නුවණින් සලකා බලා ඒ ඒ අවස්ථාවල දී භාවනා කරනු. සදෝස චිත්තය යනු ද්වේෂයෙන් යුක්ත සිත ය. වීතදෝස චිත්තය යනු ද්වේෂයෙන් තොර වූ සිත ය. සමෝහ චිත්තය යනු මෝහය සහිත වීම ය. වීතමෝහ චිත්තය යනු මෝහය නැති සිත ය. සංඛිත්ත චිත්තය යනු හැකුළුණු සිත ය. වික්ඛිත්ත චිත්තය යනු නො සන්සුන් සිත ය. මහග්ගත චිත්තය යනු මහත් බවට පැමිණි රූපාවචර අරූපාවචර සිත් ය. අමහග්ගත චිත්තය යනු කාමාවචර චිත්තය ය. ස උත්තර චිත්තය යනු ද කාමාවචර චිත්තය ම ය. අනුත්තර චිත්තය යනු රූපාවචර අරූපාවචර සිත් ය. ලෝකෝත්තර සිත් මෙහි නො ගනු ලැබේ. සමාහිත චිත්තය යනු අප්පණා සමාධි උපචාර සමාධිවලින් යුක්ත චිත්තය ය. අසමාහිත චිත්තය යනු ඒ සමාධි දෙකින් එකකුදු නැති සිත ය. විමුක්ත චිත්තය යනු තදංග වශයෙන් හෝ විෂ්කම්භණ වශයෙන් හෝ කෙලෙසුන්ගෙන් මිදුණු සිත ය. අවිමුත්ත චිත්තය යනු කෙලෙසුන් ගෙන් නො මිදුණු සිත ය.

ධම්මානුපස්සනා සතිපට්ඨානය

නීවරණ සම්මර්ශනය ය, ස්කන්ධ සම්මර්ශනය ය, ආයතන සම්මර්ශනය ය, බෝධ්‍යඞ්ග සම්මර්ශනය ය, ආර්‍ය්‍ය සත්‍ය සම්මර්ශනය ය යි ධම්මානුපස්සනා සතිපට්ඨානය පස් ආකාරයකින් මහා සතිපට්ඨාන සූත්‍රාදියේ දක්වා තිබේ.

නීවරණ සම්මර්ශනය

කාමච්ඡන්ද නීවරණය ය, ව්‍යාපාද නීවරණය ය, ථීනමිද්ධ නීවරණය ය, උඬච්ච කුක්කුච්ච නීවරණය ය, විචිකිච්චා නීවරණය යයි නීවරණ ධර්ම පසෙකි. නීවරණයෝ නම් යෝගාවචරයනට ධ්‍යාන මාර්ග ඵල ධර්මයන් උපදවා ගැනීමට ලබා ගැනීමට බාධා කරන ධර්මයෝ ය. නීවරණයන් දුරු කර නො ගෙන ධ්‍යානාදි ධර්මයන් කිසිවකුට නො ලැබිය හැකි ය. ධ්‍යානා දිය ලැබීමේ මහත් බලාපොරොත්තුවෙන් පන්සල් ජීවිතය හැර අරණ්‍යගත ව භාවනා කරන්නා වූ බොහෝ පැවිද්දන්ට අවුරුදු ගණනක් දුක් ගෙන ද උපචාර සමාධි මාත්‍ර‍යක්වත් ලබන්නට නො හැකි වන්නේ ඔවුන් කෙරෙහි ඇති නීවරණයන් නිසා ය.

නීවරණයන් ගෙන් ගහණ වූ සිත් ඇති බොහෝ යෝගාවචරයෝ තමන් කෙරෙහි නීවරණයන් ඇති බව පවා නො දනිති. පන්සල් ජීවිතය හැර අරණ්‍යයට ගියා වූ භික්ෂු තෙමේ අරණ්‍යයට ගිය පමණින් තමා ශුද්ධ වූයේ ය යි සිතයි. නීවරණයන් නිසා සමාධිය නො ලබන්නා වූ ඒ භික්ෂු තෙමේ තමාට සමාධිය නො ලැබීම ගැන අනිකක් සිත යි. මෙය බොහෝ යෝගාවචරයන්ට වරදින කරුණෙකි. නීවරණ දුරු කර ගැනීම තබා තම තමන් කෙරෙහි ඒවා ඇති නැති බව තේරුම් ගැනීම පවා ඉතා දුෂ්කර කාරණයෙකි. කවර ආකාරයකින් වුවත් යෝගාවචරයන් විසින් නීවරණ තුනී කර ගත යුතු ය. එසේ නො කොට කොතෙක් කල් අරණ්‍යයේ සිටියත් කොතෙක් දුක් ගත්තක් කොතෙක් භාවනා කළත් භාවනාවෙන් බලාපොරොත්තු වන ඵලය නො ලැබිය හැකි ය. එබැවින් සෑම යෝගාවචරයකු විසින් ම නීවරණයන් ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු ය. නීවරණ මනස්කාරය භාවනාවක් වශයෙන් දක්වා තිබෙන්නේ ද එ හෙයිනි.

කාමච්ඡන්ද නීවරණය

කාමච්ඡන්ද නීවරණය යනු චක්ෂුරාදි ඉන්ද්‍රියයන් පිනවන්නා වූ වස්තූන් ගැන හා පුද්ගලයන් ගැන ද ක්‍රියා ගැන ද ඇති වන්නා වූ ලෝභය ය. ආහාර පාන වස්ත්‍ර‍ ආභරණ යාන වාහන මිල මුදල් ආදි වස්තු ගැන තදින් කාමච්ඡන්දය ඇති වේ. ප්‍රිය පුද්ගලයන් ගැන හා ඇතැම් ක්‍රියා ගැන ද තදින් කාමච්ඡන්දය ඇති වේ. ඇසට පෙනෙන කනට ඇසෙන සෑම දෙය ගැන ම සාමාන්‍යයෙන් කාමච්ඡන්දය ඇති වන බව කිය යුතු ය. අඹු දරුවන් හැර ධනය හැර වන ගත ව යෝගයට බැස සිටින පින්වතුන්ට බාධක වන්නේ සියල්ල සම්බන්ධයෙන් ඇත්තා වූ කාමච්ඡන්දය ය. සමාධියට ඉතා ම සතුරු වන්නේ ද කාමච්ඡන්ද නීවරණය ය.

අනේකාරම්මණයන් සම්බන්ධයෙන් පවත්නා වූ අනේකාකාර කාමච්ඡන්දයන් ගෙන් යෝගාවචරයන්ට වඩා ම බාධක වන්නේ සියල්ල සම්බන්ධ කාමච්ඡන්දය ය. එබන්දක් ඇති බව පවා බොහෝ දෙනා නො දනිති. එහෙත් එය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බාල මහලු සැම දෙනා කෙරෙහි ම තදින් ඇත්තා වූ කාමච්ඡන්දයෙකි. මේ මිනිසුන්ට යම් කිසි එක් වැඩක් කරමින් හෝ වැඩක් නො කරමින් හෝ එක් තැනක විසිය නො හැක්කේ ඔවුන් ලෝකය බල බලා ඇවිදින්නේ සියල්ල පිළිබඳ වූ කාමච්ඡන්දය නිසා ය. ඒ කාමච්ඡන්දය නමැති ගින්නට ආහාර නොදී සිටිය නො හැකි බැවින් කාමච්ඡන්දයට ආහාර සපයමින් ඔවුහු ඇවිදිති. දක්නට ලැබෙන අලුත් අලුත් දේ ඒ කාමච්ඡන්දයේ ආහාරයෝ ය.

වට පිට ඇති දෑ නො බලා වට පිට සිටින අය කරන දෑ නො බලා වට පිට සිටින අය හා කථා නො කර සිටින කල්හි පුද්ගලයාගේ සන්තානයෙහි ඇති සියල්ල පිළිබඳ වූ කාමච්ඡන්ද ගින්න තදින් ඇවිලෙන්නට වන්නේ ය. ඒ දැවීම ඉවසා ගත නො හැකි බැවින් එය නිවා ගැනීමට ලෝකය බලන්නට යන්නේ ය. කථා කරන්නට අය සොයන්නේ ය. එයින් ඒ කාමච්ඡන්ද ගින්න ආහාර ලැබ ඒ අවස්ථාවට නිවෙන්නේ ය. සියල්ල සම්බන්ධී කාමච්ඡන්දය පුද්ගලයන් කෙරෙහි කොතරම් බලවත් ව තිබේද යන බව දත හැකි වන්නේ බලන්නට අමුතු දෙයක් නො ලැබ කථා කරන්නට කෙනකු නො ලැබ සිටින්නට වූ විටය. එසේ සිටින්නට වුවහොත් එය මිනිසාට ඉවසිය නො හෙන දුකෙක. ඒ දුක නම් කාමච්ඡන්දයේ දැවීම ය.

ඇවිද ලෝකය දෙස බලමින් එය නො නිවෙන කල්හි වට පිට ඇති දේ පිළිබඳ වූ අනේකප්‍ර‍කාර සිතිවිලි මිනිසාට පහළ වන්නේ ය. කිසි ප්‍රයෝජනයක් නැත්තා වූ සිතුවිලි පහළ වන්නේ ද කාමච්ඡන්දය නිසා ය. භාවනා කරන්නා වූ තැනැත්තාගේ සිත ඒ අරමුණෙහි නො පිහිටා කිසි ප්‍රයෝජනයක් නැත්තා වූ දේ සම්බන්ධ සිතුවිලි නිතර ම පහළ වන්නේ ද ඒ කාමච්ඡන්දය නිසා ය. එබැවින් යෝගාවචරයන්ට ඇත්තා වූ මහා බාධාවත්, දුරු කර ගැනීමට දුෂ්කර වූ නීවරණයත් ඒ කාමච්ඡන්දය බව දත යුතු ය. ධන පුත්‍ර‍ භාර්‍ය්‍යාදීන් ගැන ආශාව නො හළ ගිහියන්ට හා විහාරාරාමාදිය ගැන ආශාව නො හළ පැවිද්දන්ටත් ඒවා පිළිබඳ ආශාව වූ කාමච්ඡන්දය ද බාධක වන්නේ ය.

කාමච්ඡන්දයෙන් වන බාධාව නැති කර ගැනීම පිණිස යෝගාවචරයන් විසින් කාමච්ඡන්දය ගැන සිතා බැලිය යුතු ය. එය කරන්නේ මෙසේ ය. තමන් කෙරෙහි කාමච්ඡන්දය ඇත ද නැත ද කියා පළමු කොට විමසිය යුතු ය. මෙහි අදහස් කරන ඇති නැති බව වනාහි මෙනෙහි කරන අවස්ථාවෙහි කාමච්ඡන්දය ඉපද ඇති නැති බව නො වේ. සමුච්ඡේද ප්‍ර‍හාණයෙන් මතු කිසි කලෙක නූපදිනා පරිදි ප්‍ර‍හාණය කළ නො කළ බව ද නො වේ. තමන් ගේ සමාධියට බාධා වන පරිදි නිතර කාමච්ඡන්දය ඉපදීම මෙහි අදහස් කරන කාමච්ඡන්දය ඇති බව ය. එසේ නිතර නිතර නූපදනා බව කාමච්ඡන්දය නැති බව ය. තමා ගේ සන්තානයෙහි කාමච්ඡන්දය නිතර නිතර උපදී නම් කාමච්ඡන්දය තමා කෙරෙහි ඇත ය යි සැලකිය යුතු ය. නිතර නූපදී එය යට පත් වී තිබේ නම් කාමච්ඡන්දය නැත යයි සැලකිය යුතු ය. අන්‍ය නීවරණයන් ඇති නැති බව සලකන්නා වූ ක්‍ර‍මය ද එය ම ය.

භාවනා කරන කල්හි සිත සමාධිගත නො වේ නම් නොයෙක් අරමුණුවලට යේ නම් එයින් කාමච්ඡන්දය ඇති බව දත යුතු ය. එය ඇති නැති බව සිතා බලා තමා කෙරෙහි කාමච්ඡන්දය නැත්තේ නම් මා කෙරෙහි කාමච්ඡන්දය ඇත්තේය යි සිතිය යුතු ය. ඉදින් කාමච්ඡන්දය නැත්තේ නම් මා කෙරෙහි කාමච්ඡන්දය නැත්තේය යි සිතිය යුතු ය. ඉක්බිති නූපන් කාමච්ඡන්දය ඉපදීමේ හේතු සිතිය යුතු ය. උපන් කාමච්ඡන්දය දුරු වීමේ හේතු සිතිය යුතු ය. ප්‍ර‍හාණය කරන ලද කාමච්ඡන්දය මතු කිසි කලෙක ස්වසන්තානයෙහි නූපදනා ලෙස දුරු කරන සැටි සිතිය යුතු ය. එසේ කිරීම කාමච්ඡන්දය පිළිබඳ වූ භාවනාව ය.

“අත්ථි භික්ඛවෙ, සුභ නිමිත්තං තත්ථ අයොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භීය්‍යොභාවාය වෙපුල්ලා ය.”

කාමච්ඡන්ද සංඛ්‍යාත ලෝභය කෙරෙහි හා ලෝභනීය වස්තූන් කෙරෙහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව නිසා නූපන් කාමච්ඡන්දය උපදනා බව ද, උපන් කාමච්ඡන්දය නැවත නැවත ඉපදීම් වශයෙන් වැඩෙන බව ද ඉහත කී දේශනයෙන් දැක්වේ. එක් දෙයක් ගැන කාමච්ඡන්දය ඇති කල්හි එහි ආදීනවය සලකා එය ප්‍ර‍හාණය නො කොට ඇති වූ කාමච්ඡන්දය පිළිගෙන එයට ඕනෑ කරන දෙය සෙවීමටත් කාමච්ඡන්දයට වුවමනා සැටියට ක්‍රියා කරන්නටත් ගිය හොත් එය නිසා තවත් බොහෝ දේවල් පිළිබඳ කාමච්ඡන්දයෝ උපදිති.

භාවනානුයෝගීව හුදෙකලාව වාසය කරන භික්ෂුවකට මා හට තනි ව විසීම අපහසු ය. දෙවැන්නකු වශයෙන් මට උපකාරයට ගෝලයකු සොයා ගත යුතු ය කියා, ගෝලයකු ගැන කාමච්ඡන්දය ඇති වුව හොත් ඒ කාමච්ඡන්දය නිසා ගෝලයාට වුවමනා වාසස්ථාන ආහාර පාන වස්ත්‍ර‍ බෙහෙත් ආදි බොහෝ උපකරණයන් සම්බන්ධයෙන් බොහෝ කාමච්ඡන්දයෝ පහළ වෙති. ඇති වූ පළමු කාමච්ඡන්දයේ ආදීනව මෙනෙහි කොට එය ප්‍ර‍හාණය කෙළේ නම් පසු උපදනා බොහෝ කාමච්ඡන්දයෝ නූපදනාහ. ඒ සියල්ල ම වන්නේ පළමු ඇති වූ කාමච්ඡන්දය හොඳ සැටියට පිළිගැනීම නිසා ය. කාමච්ඡන්දය පිළිබඳ ව නුසුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව නිසා උපන් කාමච්ඡන්දයන්ගේ ඉපදීම වේ ය යි වදාරන ලද්දේ එහෙයිනි.

ස්ත්‍රීරූප පුරුෂ රූපාදි ලෝභනීය වස්තූන්හි ආස්වාදනීය භාවයක් ඇතුවක් මෙන් ම ආදීනව රාශියක් ද ඇත්තේ ය. ඒවායේ ඇති ආදීනව පක්ෂය වූ අනිත්‍ය දුඃඛ අනාත්ම අශුභ භාවය නො සලකා ලෝභනීය වස්තූන් නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් සැලකීම ලෝභනීය වස්තූන් කෙරෙහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම ය. එයින් නූපන් කාමච්ඡන්දය ද උපදින්නේ ය. උපන් කාමච්ඡන්දය ද වැඩෙන්නේ ය.

“අත්ථි භික්ඛවෙ, අසුභ නිමිත්තං, තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස පහාණාය න භීය්‍යොභාවාය.”

අශුභධ්‍යානයෙහි හා අශුභාරම්මණයෙහි සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව හේතු කොට නූපන් කාමච්ඡන්දය නූපදින්නේ ය. උපන් කාමච්ඡන්දය දුරු වන්නේ ය. නැවත නැවත ඉපදීම් වශයෙන් නො වැඩෙන්නේ ය.

කාමච්ඡන්දයට හේතු වන ශෝභන ස්ත්‍රී පුරුෂ රූපාදිය ද අනිත්‍ය දුඃඛ අනාත්ම අශුභ ස්වභාවයෝ ය. ඒවායේ ඇති අනිත්‍ය දුඃඛ අනාත්ම අශුභ ස්වභාවය සලකන්නන්ට ඒවා ගැන කාමච්ඡන්දය නූපදනේ ය. කලින් උපන් කාමච්ඡන්දයක් ඇති නම් එ ද දුරු වන්නේ ය. එ බැවින් අශුභ නිමිත්තෙහි සුදුසු පරිදි මෙනෙහි කිරීමෙන් නූපන් කාමච්ඡන්දය නූපදින්නේ ය යි ද කියනු ලැබේ.

තවද, අශුභාරම්මණය සිතට ගැනීමය, අශුභ භාවනාවෙහි යෙදීම ය, චක්ෂුරාදි ඉන්ද්‍රිය සහ ආරක්ෂා කිරීම ය, ආහාරයෙහි පමණ දන්නා බව ය, කල්‍යාණ මිත්‍ර‍යන් ඇති බව ය, සත්ප්‍රාය කථා ඇති බව ය යන මේ කරුණු සය ද කාමච්ඡන්දය දුරු වීමේ හේතු වශයෙන් දක්වා තිබේ. දශ අශුභයන් ගේ නිමිති සිතට ගන්නා තැනැත්තාට ඒ හේතුවෙන් කාමච්ඡන්දය දුරු වේ. අශුභ නිමිති සිතට ගැනීම ය යනු සිතට අශුභය පෙනෙන සේ පුරුදු කිරීම ය. අශුභ භාවනාව කරන්නහුට ද කාමච්ඡන්දය නූපදී. චක්ෂුරාදි ඉන්ද්‍රිය සය ආරක්ෂා කිරීම ය යනු ඒ ඉන්ද්‍රිය යන්ට ඉෂ්ටානිෂ්ට ආරම්මණයන් එළඹ සිටි කල්හි ඒවා නිසා රාගාදි ක්ලේශයන් හා ද්වේෂාදි ක්ලේශයන් නූපදනා සැටියට සිහියෙන් යුක්ත වීම ය. එසේ කරන්නහුට ද කාමච්ඡන්දය දුරු වේ. පමණ ඉක්මවා ආහාර නො ගෙන ප්‍ර‍ත්‍යවේක්ෂා ඥානයෙන් යුක්ත ව පමණට ආහාර වළඳන්නා වූ තැනැත්තා හට ද කාමච්ඡන්දයේ ඉපදීම අඩු වේ. අශුභ භාවනාවෙහි යෙදෙන කල්‍යාණ මිත්‍රයන් සේවනය කරන්නාහට ද කාමච්ඡන්දය දුරු වේ. කාමච්ඡන්දය දුරු වීමට සත්ප්‍රාය කථා නම්, දශ අශුභයන් පිළිබඳ කථා ය. අශුභ කථා කිරීම හා ඇසීම කාමච්ඡන්දය දුරු කර ගැනීමට ඉතා ම හොඳ මගෙකි.

කියන ලද කරුණු වලින් යටපත් කිරීම් වශයෙන් කාමච්ඡන්දය දුරු කර ගෙන භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයා හට අර්හත්වයට පැමිණීමෙන් ඒ කාමච්ඡන්දය මතු කිසි කලෙක නූපදින පරිද්දෙන් දුරු වන්නේ ය.

ව්‍යාපාද නීවරණය

යම් කිසි පුද්ගලයකු ගැන හෝ වස්තුවක් ගැන හෝ ක්‍රියාවක් ගැන හෝ විරුද්ධ ස්වභාවය අප්‍රිය ස්වභාවය ව්‍යාපාදය ය. ක්‍රෝධ කෝප වෛර ද්වේෂ භය යන වචනවලින් කියැවෙන්නේ ද ඒ ව්‍යාපාදය ම ය. ධ්‍යානාදි ධර්මයන් ලැබීමට බාධා කරන බැවින් ඒ ව්‍යාපාදය ම ව්‍යාපාද නීවරණ නම් වේ.

යම් කිසිවකු ගැන තද කෝපයක් තද වෛරයක් ඇති තැනැත්තා භාවනාවට පටන් ගත්කල්හි ඔහුගේ සිත වරින් වර විරුද්ධකාරයා දෙසට හැරෙන්නේ ය. එයින් ඔහුට භාවනාව අමතක වන්නේ ය. එ බැවින් ඒ කෝපය ධ්‍යානාදියට බාධා වෙයි. සසර කලකිරී පැවිදි වී අරණ්‍යගතව භාවනා කරන්නා වූ සියලු සතුන් කෙරෙහි මෙත් සිත පවත්වන්නා වූ යෝගාවචරයනට අනුන් හා වෛර ඇති වන්නේ නැත. එ බැවින් යෝගාවචරයනට එබඳු ව්‍යාපාදවලින් බාධාවක් නැත.

අරණ්‍යයක හෝ අන් විවේකස්ථානයක හෝ තනි ව වාසය කරන කල්හි සමහරුන්ට භය ඇති වේ. එද ව්‍යාපාද නීවරණය ය. රිසි සේ ආහාර පානාදිය නො ලැබීමෙන් ද තවත් නොයෙක් කරුණු වලින් ද සමහර යෝගාවචරයනට බොහෝ දුක් ඇති වේ. ඒ දුක් නිසා ඔවුනට නො සතුටක් ඇති වේ. එද ව්‍යාපාද නීවරණය ය. බොහෝ දුක් ගෙන භාවනා කරන්නා වූ යෝගාවචරයනට ඒ භාවනාවෙන් තමන් බලාපොරොත්තු වන තරමට ඵල නො ලැබෙන කල්හි ද තමා ගැන හා තමන්ගේ අනුශාසකයන් ඇති නම් ඔවුන් ගැන ද, සමහර විට උපස්ථායකයන් ඇති නම් ඔවුන් ගැන ද, තමන් කරන භාවනාව ගැන ද, තමන් රක්නා ශීලය ගැන ද නො සතුටක් ඇති වේ. එද ව්‍යාපාද නීවරණය ය. භයින් භාවනා කරන තැනැත්තාට ද සමාධිය නො ලැබේ නො සතුටින් භාවනා කරන තැනැත්තාට ද සමාධිය නො ලැබේ. එ බැවින් භය හා කියන ලද කරුණු සම්බන්ධයෙන් ඇති වන නො සතුටත් යෝගාවචරයනට ව්‍යාපාද නීවරණ වන්නේ ය.

යෝගාවචරයන් විසින් කියන ලද කරුණු අනුව කල්පනා කොට ව්‍යාපාද නීවරණය තේරුම් ගෙන එය තමන්ගේ සන්තානයෙහි ඇත ද නැත ද යන බව විමසා, ඇති නම් මා කෙරෙහි ව්‍යාපාද නීවරණය ඇත්තේ ය යි සිතා ගත යුතු ය. නැති නම් නැත්තේ යයි සිතා ගත යුතු ය. ඉක්බිති තමා කෙරෙහි ඇත්තා වූ හෝ නැත්තා වූ හෝ ව්‍යාපාද නීවරණයේ උත්පත්ති හේතු හා එයින් දුරු වීමේ හේතු සිතිය යුතු ය.

“අත්ථි භික්ඛවෙ, පටිඝ නිමිත්තං, තත්ථ අයොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ව්‍යාපාදනීවරණස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ව්‍යාපාද නීවරණස්ස භීය්‍යො භාවාය වෙපුල්ලාය.”

ද්වේෂය කෙරෙහි ද ද්වේෂෝත්පත්තියට හේතු වන වෛරී පුද්ගලාදි ආරම්මණයන් කෙරෙහි ද නො මනා කොට මෙනෙහි කිරීම් බහුල බව නිසා නූපන් ව්‍යාපාද නීවරණය උපදනේය. උපන් ව්‍යාපාද නීවරණය නැවත නැවත ඉපදීම් වශයෙන් වැඩෙන්නේ ය.

යම් කිසිවකු කෙරෙහි වරක් ක්‍රෝධය ඇති වුවහොත් ඒ පුද්ගලයා දක්නා කල්හි ද සිහි වන කල්හි ද ඒ ක්‍රෝධය නැවත නැවත උපදනේ ය. සමහර විට ඔහු හා සබඳකම් ඇති අන්‍යයන් ගැන ද ක්‍රෝධය ඇති වන්නේ ය. ක්‍රෝධ සහගත සිතින් සිටින අවස්ථාවෙහි තමා වෙත පැමිණෙන තමා හා කථා කරන අන්‍යයන් කෙරෙහි ද සමහර විට ක්‍රෝධය ඇති වේ. වරක් උපන් ක්‍රෝධය නිසා එසේ නැවත නැවත ක්‍රෝධය ඇති වන්නේ කාරණානුකූලව මෙනෙහි කොට පළමු ඇති වූ ක්‍රෝධය ප්‍ර‍හාණය නො කරන්නා වූ තැනැත්තාට ය. මේ ද්වේෂය මහානර්ථකර පාප ධර්මයක් ය, මෙයට වැඩෙන්නට දීම නපුරක් ය, යනාදීන් සුදුසු පරිදි මෙනෙහි කරන්නහුට ද්වේෂය තුනී වේ. එබැවින් ද්වේෂය පිළිබඳ ව සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව ව්‍යාපාද ප්‍ර‍හාණයට හේතු වන බව කියනු ලැබේ.

ලෝකයෙහි බොහෝ දෙනාගේ සිරිත ද්වේෂයට හේතු වන වෛරී පුද්ගලාදීන්ගේ අගුණ පක්ෂය ම සිතීම ය. ඔවුහු නොයෙක් විට වෛරී පුද්ගලයාගේ ගුණ පවා අගුණ සැටියට සිතති. සතුරාගේ අගුණ ම සිතීම සතුරු පුඟුලන් පිළිබඳ ව නුසුදුසු සේ සිතීම ය. එයින් ද්වේෂය නැවත නැවත උපදනේ ය. ගුණාගුණ දෙපක්ෂය ම සැම දෙනා කෙරෙහි ම ඇත්තේ ය. කිසි ගුණයක් නැති පුද්ගලයෙක් නැත්තේ ය. අනුන්ගේ ගුණ දක්නා තැනැත්තාට ද්වේෂය ඉපදීම අඩු ය. අනුන්ගේ අගුණ ම මෙනෙහි කිරීම ද්වේෂෝත්පත්තියට හේතු වන අරමුණු කෙරෙහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම ය.

“අත්ථි භික්ඛවෙ, මෙත්තා චෙතො. විමුත්ති, තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වාව්‍යාපාදස්ස අනුප්පාදාය, උප්පන්නස්ස වා ව්‍යාපාදස්ස පහාණාය න භිය්‍යොභාවාය.”

මෙත්තා චේතෝ විමුක්තිය පිළිබඳ ව සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව නූපන් ව්‍යාපාදය නූපදීමට ද උපන් ව්‍යාපාදය දුරු වීමට ද නැවත නැවත ඉපදීම් වශයෙන් දියුණු නො වීමට ද හේතු වේ. මෙත්තා යනු මෛත්‍රිය යි. මෙත්තා චේතෝ විමුත්ති යනු මෛත්‍රීධ්‍යාන චිත්තය යි. මෙත්තා චේතෝ විමුක්තිය ගැන සුදුසු පරිදි මෙනෙහි කිරීම ය යනු එහි අනුසස් මෙනෙහි කිරීම ය. මෛත්‍රියෙහි අනුසස් මෙනෙහි කරන්නා හට ව්‍යාපාදය තුනී වේ. එ බැවින් මෙත්තා චේතෝ විමුක්තිය ගැන සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව ව්‍යාපාද ප්‍ර‍හාණයට හේතු වන බව වදාළ සේක.

මෛත්‍රී කර්මස්ථානය පුරුදු කිරීම ය, පුරුදු කළ මෛත්‍රිය නැවත නැවත පැවැත්වීම ය, කර්මය තමා අයත් දෙය බව මෙනෙහි කිරීම ය, කර්මය තමා අයත් බව දන්නා ඥානය බහුල කොට ඇති බව ය, කල්‍යාණ මිත්‍ර‍යන් ඇති බව ය, සත්ප්‍රාය කථාය යන මේ කරුණු සය ද ව්‍යාපාද නීවරණයාගේ ප්‍ර‍හාණය පිණිස පවතී.

සත්ත්වයන් කොටස් කොට මෙත් පැතිරවීමය, සකල සත්ත්වයන් කෙරෙහි මෙත් පැතිරවීම ය, දිශා වශයෙන් මෙත් පැතිරවීම ය යන තුන් ආකාරයෙන් හෝ එයින් යම් කිසි එක් ආකාරයකින් හෝ මෙත් වැඩීම පුරුදු කරන්නා හට ද, පුරුදු කළ මෛත්‍රිය නැවත නැවත පවත්වන්නා හට ද ව්‍යාපාද නීවරණය දුරු වේ.

මම මොහුට කිපී කුමක් කරන්නෙම් ද? මොහුගේ ශීලාදිය මා හට විනාශ කළ හැකි ද? මම මාගේ කර්මයෙන් මෙ ලොවට අවුත් මාගේ කර්මයේ සැටියට ම පරලොව යන්නෙමි. අනුන්ට කිපීම නම් ගිනි අඟුරු රත් වූ යකඩ - අසූචි පිඬු ආදිය සියතින් ගෙන අනුන්ට පහර දීමට තැත් කිරීමක් වැනි ය. මොහු කිපී මා හට කුමක් කෙරේ ද? කොතෙක් කිපුණත් මොහුට මාගේ ශීලාදිය නො නැසිය හැකි ය. මොහු ද තමාගේ කර්මයෙන් මෙ ලොවට අවුත් තමාගේ කර්මයෙන් ම පරලොව යන්නේ ය. මා විසින් නො පිළිගන්නා වූ මොහුගේ කෝපය, නො පිළිගත් ත්‍යාගයක් සේ, උඩු සුළඟට ගැසූ වී පොතු රැසක් සේ, මොහු ගේ හිස පිට ම වැටෙන්නේ ය යනාදීන් තමාගේ ද අනුන් ගේ ද කර්මය පිළිබඳ ව කල්පනා කරන්නා හට ද ව්‍යාපාද නීවරණය දුරු වේ.

සැම දෙන ම කර්මය තම තමා අයත් කොට ඇතියවුන් බව සිතා කම්මස්සකතා ඥානයෙහි පිහිටි තැනැත්තා හට ද ව්‍යාපාද නීවරණය ප්‍ර‍හාණය වේ.

නිතර මෛත්‍රී භාවනාවෙහි යෙදෙන මෛත්‍රී සහගත කාය වාක් මනඃ කර්මයන් ඇති සත්පුරුෂයන් කල්‍යාණ මිත්‍ර‍යන් කොට සේවනය කරන තැනැත්තාට ද ව්‍යාපාද නීවරණය දුරු වේ.

නිතර මෛත්‍රිය පිළිබඳ වූ කථා අසන්නා වූ ද කරන්නා වූ ද තැනැත්තා හට ද ව්‍යාපාද නීවරණය දුරු වේ.

මේ කරුණු සයෙන් දුරු වූ ව්‍යාපාද නීවරණය මතු කිසි කලෙක නූපදිනා පරිදි අනාගාමි මාර්ගයට පැමිණීමෙන් ප්‍ර‍හාණය වේ.

ථීනමිද්ධ නීවරණය

ථීන මිද්ධ යනු අකුශල චෛතසික දෙකකි. එහි ථීනය නම් චිත්තය ක්‍රියාවන්ට නුසුදුසු බවට අසමත් බවට ගිලන් බවට හැකිළෙන බවට අලස බවට පමුණුවන ධර්මයෙකි. මිද්ධය චෛතසිකයන් ක්‍රියාවට නුසුදුසු බවට අසමත් බවට ගිලන් බවට හැකිළෙන බවට අලස බවට පමුණුවන ධර්මයෙකි. මේ ධර්ම දෙක කිසි කලෙක ඔවුනොවුන්ගෙන් වෙන් නො වන්නේ ය. යම් සිතක ථීනය ඇත්තේ නම් මිද්ධය ද එහි ඇත්තේ ය. යම් සිතක මිද්ධය ඇත්තේ නම් ථීනය ද එහි ඇත්තේ ය. එකට බැඳී පවත්නා බැවින් ඒ දෙක යෝගාවචරයනට වෙන් වෙන් වූ ධර්ම දෙකක් සැටියට තේරුම් ගැනීම අපහසු ය. එසේ තේරුම් ගත නො හැකි වීම යෝගාවචරයනට බාධාවක් නො වේ.

ථීනමිද්ධ දෙක එක් නීවරණයක් සැටියට තේරුම් ගත හැකි වීම යෝගාවචරයනට ප්‍ර‍මාණ වේ. ථීනමිද්ධයන් විසින් කරනු ලබනු යේ යෝගාවචරයා හට යෝග ක්‍රියාවෙහි ඉදිරියට යා නොදී නැවැත්වීම හා පසු බැස්වීම ය. එය ධ්‍යානාදිය ලැබීමට බාධාවක් බැවින් ථීනමිද්ධ දෙක නීවරණයක් වෙයි. ථීන මිද්ධ දෙක නීවරණ දෙකක් සැටියට නො වදාරා එක නීවරණයක් කොට වදාරා තිබෙන්නේ කෘත්‍ය වශයෙන් ද, උත්පත්ති හේතු වශයෙන් ද ප්‍ර‍තිපක්ෂ ධර්මයන් ගේ වශයෙන් ද ඒ දෙක සමාන බැවිනි. හකුළුවන බව පසුබස්වන බව ථීනමිද්ධයන් ගේ කෘත්‍යය ය. උත්පත්ති හේතු මත දක්වනු ලැබේ. ඒ දෙක ම වීර්‍ය්‍යයට ප්‍ර‍තිපක්ෂ ය.

ථීනමිද්ධ නීවරණය සිත්හි ඇති වීම නිසා යෝගාවචරයා භාවනාදි ක්‍රියා සිදු කිරීමේ දී පසු බසී. නැවති නැවතී ඉදිරියට යයි. උදයේ කළ යුත්ත සවසට කල් තබයි. සවස කළ යුත්ත රාත්‍රියට කල් තබයි. රාත්‍රියෙහි කළ යුත්ත පසු දිනට තබයි. අද කළ යුත්ත සෙටට තබයි. මේ සතියේ කළ යුත්ත ලබන සතියට තබයි. මේ මාසයේ කළ යුත්ත ලබන මාසයට තබයි. ඔහුට නිදිමත ඇති වෙයි. නිදා වැටි වැටී භාවනා කරයි. කියන ලද ලකුණු තමා කෙරෙහි ඇති නම් යෝගාවචරයා විසින් තමා කෙරෙහි ථීනමිද්ධ නීවරණය ඇතය යි සැලකිය යුතු ය. නැති නම් එය තමා කෙරෙහි නැත ය යි සැලකිය යුතු ය.

වත්පිළිවෙත් කිරීමෙහි දී හා වැඳුම් පිදුම් කිරීමෙහිදී ද පිරිත් ආදිය කීමෙහිදී ද බණ ඇසීමෙහිදී ද භාවනා කිරීමෙහිදී ද ඇති වන්නේ කුසල් සිත් ය. අකුසල වූ ථීනමිද්ධයෝ ඒ කුශල චිත්තයන් හා නූපදිති. ථීනමිද්ධ සහගත සිත් ඇති වන්නේ භාවනාදි ක්‍රියා සිදු කරන සිත් අතර ඒවාට පූර්වාපර භාග දෙක්හි ය. කුසල චිත්තයන්ගේ සමීපයෙහි ථීනමිද්ධ සහගත සිත් ඇති වන කල්හි කුශල චිත්ත සම්ප්‍ර‍යුක්ත විරියින්ද්‍රියය දුබල වේ. දුබල විරියින්ද්‍රිය ඇති සිතින් කරන භාවනාව අල්ප ඵල වන්නේ ය.

“අත්ථි භික්ඛවෙ අරති තන්දි විජම්භිතා භත්තසම්මදො චෙතසො ලීනත්තං, තත්ථ අයොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ථීනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්සවා ථීනමිද්ධස්ස භීය්‍යොභාවාය වෙපුල්ලාය.”

කරන කටයුත්ත ගැන ඕනෑකමක් නැති බව ය, ඇඟ මැලි බවය, ඇඟ පණ නැති බවය, බත්මත ය යන මේවා කෙරෙහි නො මනා කොට මෙනෙහි කිරීම් බහුල බව හේතු කොට නූපන් ථීනමිද්ධ නීවරණය උපදනේ ය. උපන් ථීනමිද්ධ නීවරණය වැඩෙන්නේ ය.

කරන කටයුත්ත ගැන ඕනෑකමක් නැති බවය යි කියනුයේ කළ යුත්ත කිරීමෙහි ප්‍රීතියක් නැති බව ය. ඇඟ මැලි බව ය යි කියනුයේ ශරීරයේ ඇති වන තදවීම හිරි වැටීම වැනි ස්වභාවයෙකි. ඒ ස්වභාවය නින්දෙන් අවදි වූ සැටියේ ම බොහෝ සෙයින් ඇත්තේ ය. භාවනා කිරීම, පත පොත බැලීම, බණ ඇසීම ආදි කය නො සොලවා කළ යුතු වැඩ කරන අවස්ථාවලදී ඒ ස්වභාවය ඇති වේ. ඒ අවස්ථාවේ බොහෝ සෙයින් මනුෂ්‍යයෝ ඈනුම් ඇරීම අත පය දිගු කොට හිරි ඇරීම ශරීරය ඇඹරවීම යන මේවා කරති. ඇඟ පණ නැති බව අයෝග්‍ය සෘතු ආහාරයන් නිසා ද වුවමනා පමණට ආහාර නො ලැබීම නිසා ද බොහෝ සෙයින් ඇති වන්නකි. නින්දෙන් අවදි වූ කෙණෙහි ම ද ඒ ස්වභාවය තිබේ. බත්මත, බොහෝ වේලා බඩගින්නෙන් සිට ආහාර ගත් අවස්ථාවලදී ද, පමණට වඩා ආහාර ගත් අවස්ථා වලදී ද ඇති වන්නකි. මේවා ඇති වූ කල්හි වීර්‍ය්‍ය ලිහිල් නො කර ගත යුතු ය.

“අත්ථි භික්ඛවේ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ථීනමිද්ධස්ස අනුප්පාදාය, උප්පන්නස්ස වා ථීනමිද්ධස්ස න භීය්‍යොභාවාය න වෙපුල්ලා ය.”

ආරම්භධාතු, නික්කමධාතු, පරක්කමධාතු යන නම් ඇති එකිනෙකට බලවත් වූ වීර්‍ය්‍යය කෙරෙහි සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව නූපන් ථීනමිද්ධ නීවරණයාගේ නූපදීමට හා උපන් ථීනමිද්ධ නීවරණය දුරුවීමට ද හේතු වේ.

ආරම්භධාතු යනු යම්කිසි කාර්‍ය්‍යයක් ගැන පළමු ඇති වන වීර්‍ය්‍යය ය. නික්කමධාතු යනු එයට වඩා බලවත් ව පසුව ඇති වන වීර්‍ය්‍යය ය. පරක්කමධාතු යනු කටයුත්තෙහි තව තවත් ඉදිරියට යන පළමු වීර්‍ය්‍ය දෙකට ම වඩා බලවත් වීර්‍ය්‍යය ය. වීර්‍ය්‍යය පිළිබඳ සුදුසු පරිදි මෙනෙහි කිරීමය යනු එහි අනුසස් මෙනෙහි කිරීම ය.

අතිභෝජනය පිළිබඳ අවබෝධය ය, ඉරියව් වෙනස් කිරීම ය, ආලෝකය මෙනෙහි කිරීම ය, එළිමහනේ විසීම ය, කලණ මිතුරන් ඇති බව ය, සත්ප්‍රාය කථා ය යන මේ සය ද ථීනමිද්ධ නීවරණ දුරු වීමේ හේතු ය.

පමණ ඉක්මවා ආහාර වළඳා භාවනාවට පටන්ගත හොත් හස්ති රාජයකු සේ ථීනමිද්ධය ඔහු යට කර ගෙන නැඟ එන්නේ ය. ඔහුට නිදන්නට ම සිතෙන්නේ ය. කුසෙහි බත් පිඬු සතර පසකට ඉඩ තබා පැන් බී භාවනාවෙහි යෙදෙන්නහුට ථීනමිද්ධය නැඟ නො එන්නේ ය. ථීනමිද්ධිය නැඟ නො එන පරිදි පමණ දැන ආහාර ගන්නා තැනැත්තාහට ථීනමිද්ධය දුරු වේ. යම් ඉරියව්වකින් වාසය කරන කල්හි ථීනමිද්ධය නැඟ එන්නට පටන් ගතහොත් ඒ ඉරියවුව හැර අනික් ඉරියවුවකින් වාසය කළ යුතු ය. එසේ කළ කල්හි උපන් ථීනමිද්ධය දුරු වේ. විටින් විට ඉරියව් වෙනස් කරමින් හැසිරෙන කල්හි ථීනමිද්ධය නැඟ නේ ඒ. ඉරියව් වෙනස් කිරීම සමාධියට බාධාවක් බැවින් එ ද පමණ දැන කළ යුතු ය. ථීනමිද්ධය නැඟ එත හොත් දවල් කාලයෙහි සූර්‍ය්‍යාලෝකය මෙනෙහි කිරීමෙන් ද, රාත්‍රියෙහි චන්ද්‍රාලෝක, ප්‍ර‍දීපාලෝකාදිය මෙනෙහි කිරීමෙන් ද, ආලෝකය ඇති තැන්වල විසීමෙන් ද ථීනමිද්ධය දුරු වේ. යෝගාවචරයන් එළිමහනෙහි වාසය කරන්නේ ද වාතාවරණය ඇති අඳුරු තැන් ථීනමිද්ධයට හේතු වන බැවිනි. එළිමහනෙහි වාසය කරන්නා හට ද එයින් ථීනමිද්ධය දුරු වේ. ගිය ගිය තැන සිටි සිටි තැන නිදා වැටෙන අලසයන් ඇසුරු කිරීමෙන් ථීනමිද්ධය වැඩේ. මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ වැනි ථීනමිද්ධය ප්‍ර‍හීණ කළ වීර්‍ය්‍යවත් උතුමන් සේවනය කරන්නා හට ද, ථීනමිද්ධය දුරු වීමට හේතුවන ධූතංග නිශ්‍රිත කථා ශ්‍ර‍වණය කරන්නා හට ද ථීනමිද්ධය දුරු වේ. මේ කරුණු සය කරණ කොට යටපත් කරන ලද ථීනමිද්ධ නීවරණය අර්හත් මාර්ගයෙන් මතු නූපදනා පරිදි දුරු වේ.

උද්ධච්ච කුක්කුච්ච නීවරණය

උද්ධච්චය යනු සිතෙහි නො සන්සුන් බවය. එය එක්තරා අකුශල චෛතසිකයෙකි. එයින් යුක්ත වන සිත අරමුණෙහි මනා කොට නො පිහිටයි. අරමුණෙහි සැලෙමින් පවතී. කුක්කුච්චය යනු කළ වරද ගැන හා නො කළ යහපත පිළිබඳ පසු තැවෙන ස්වභාවය ය. එ ද අකුශල චෛතසිකයෙකි. මේ චෛතසික දෙක ථීනමිද්ධ දෙක සේ සැම කල්හි ම එකට බැඳී උපදින්නේ නො වේ. අකුසල් සිත් සියල්ලෙහි ම උද්ධච්චය ඇත්තේ ය. කුක්කුච්චය ඇති වන්නේ දොළොස් අකුසල් සිත්වලින් ද්වේෂ මූලික සිත් දෙක්හි පමණෙකි. එහි ද සැම කල්හි ම ඇති නො වන අනියතයෝගී චෛතසිකයෙකි. ඒ දෙසිතෙහි ද එය ඇති වන්නේ කළ නො කළ පව් පින් ගැන තැවෙන අවස්ථාවල පමණෙකි. උද්ධච්චය කුක්කුච්චයෙන් වෙන් ව ඇති වන නමුත් කුක්කුච්චය උද්ධච්චයෙන් වෙන් ව කිසි කලෙක නූපදී. උද්ධච්චය නීවරණ වන්නේ කුක්කුච්චය සමග ඇති වන අවස්ථාවල ය. කුක්කුච්චය සැම කල්හි ම උද්ධච්චය සමග ම ඇති වන බැවින් සැම කල්හි ම නීවරණ වේ. මේ චෛතසික ධර්ම දෙක නීවරණ දෙකක් කොට නො වදාරා එක් නීවරණයක් කොට වදාරා තිබෙන්නේ කෘත්‍යයෙන් හා උත්පත්ති හේතූන් ගෙන් ද ප්‍ර‍තිවිරුද්ධත්වයෙන් ද සමාන බැවිනි. මේ දෙකින් ම සිදු කරන කෘත්‍යය නම් සිත නො සන්සුන් කිරීම ය. උත්පත්ති හේතු මතු දක්වනු ලැබේ. ඒ දෙක විරුද්ධ වන්නේ සමාධියට ය.

භාවනා කිරීම් වශයෙන් උපදින්නේ කාමාවචර කුසල් සිත් ය. ඒවායේ අකුශල චෛතසික වූ උද්ධච්ච කුක්කුච්චයෝ නූපදිති. භාවනාවට පූර්වභාගයේ හෝ භාවනා කරන අතර හෝ උද්ධච්ච කුක්කුච්ච සහගත සිත් ඇති වත හොත් භාවනා චිත්ත සම්ප්‍ර‍යුක්ත සමාධිය දුබල වේ. එයින් ධ්‍යානාදිය යෝගාවචරයා හට නො ලැබේ. එ බැවින් උද්ධච්ච කුක්කුච්චය නීවරණයක් වේ. බොහෝ සෙයින් උඬච්ච කුක්කුච්චයට හේතු වන්නේ කළ පව්කම් ය. භික්ෂුවකට නම් පැමිණි ඇවැත් ය. යෝගාවචරයනට ශීලපාරිශුද්ධිය විශේෂයෙන් වුවමනා වන්නේ මේ නීවරණය ඇති නොවීමට ය. යෝගාවචරයා හට තමාගේ ශීලය ගැන නොසතුටක් ඇති නම්, කළ වරදක් ගැන නො සතුටක් ඇති නම්, භාවනා කිරීමේ දී ද එය නැවත නැවත සිහි වීමෙන් සිත එකඟ කර ගැනීමට බාධා වේ නම්, එයින් තමා කෙරෙහි උඬච්චකුක්කුච්ච නීවරණය ඇති බව දත යුතු ය. එබන්දක් නැති නම් එයින් තමා කෙරෙහි ඒ නීවරණය නැත ය යි සිතා ගත යුතු ය. ඉක්බිති තමා කෙරෙහි ඇත්තා වූ හෝ නැත්තා වූ හෝ උඬච්චකුක්කුච්ච නීවරණයේ උත්පත්ති හේතු ආදිය මෙනෙහි කළ යුතු ය.

“අත්ථි භික්ඛවෙ, චෙතසො අවුපසමො, තත්ථ අයොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භීය්‍යොභාවාය වෙපුල්ලාය.”

චිත්තයාගේ නො සන්සුන් බව ගැන නුසුදුසු සේ මෙනෙහි කිරීම් බහුල බව හේතු කොට නූපන් උද්ධච්ච කුක්කුච්චය උපදනේ ය. උපන් උද්ධච්චකුක්කුච්චය නැවත නැවත ඉපදීම් වශයෙන් වැඩෙන්නේ ය.

චිත්තයාගේ නොසන්සුන් බව නම් උද්ධච්ච කුක්කුච්චය ම ය. එය ඇති වූ කල්හි හැඳින ගෙන ප්‍ර‍හාණය කරන්නට වැර නො වඩා එයට අනුකූල ව සිතීම, චිත්තයාගේ නො සන්සුන් බව පිළිබඳ ව නුසුදුසු පරිදි මෙනෙහි කිරීම ය. එයින් පෙර උද්ධච්ච කුක්කුච්චය නූපන් කරුණු අරමුණු කොට අලුත් උද්ධච්චකුක්කුච්චයෝ ද උපදිති. උපන් උද්ධච්චකුක්කුච්ච ද නැවත නැවත ඉපදීම් වශයෙන් වැඩෙන්නේ ය.

“අත්ථි භික්ඛවෙ, චෙතසො වූපසමො. තත්ථ යොනිසොමනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා උද්ධච්ච-කුක්කුච්චස්ස න භීය්‍යොභාවාය”

සමාධිය හෙවත් සිතෙහි සන්සිඳීම පිළිබඳ ව සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව හේතු කොට නූපන් උඬච්චකුක්කුච්ච නීවරණය නූපදනේ ය. උපන් උඬච්චකුක්කුච්චය දුරු වන්නේ ය.

ධර්ම - විනය දෙක උගෙන තිබෙන බව ය, කැප - අකැප බව පිළිබඳ ව ප්‍ර‍ශ්න කිරීම ය, විනයේ සැටි දැන ගෙන තිබීම ය, වෘද්ධයන් සේවනය කිරීම ය, විනයධර කල්‍යාණ මිත්‍ර‍යන් සේවනය කිරීම ය, කැප අකැප බව පිළිබඳ කථා ය යන මේ කරුණු සය නිසා ද උඬච්චකුක්කුච්ච නීවරණයාගේ නූපදීම හා දුරු වීම සිදු වේ.

මේ කරුණු සය දක්වා තිබෙන්නේ භික්ෂූන්ට ඇති වන උද්ධච්චකුක්කුච්ච නීවරණයාගේ වශයෙනි. තමා උගත් ධර්ම විනය දෙක පාළි වශයෙන් හා අර්ථ වශයෙන් සිතමින් කියමින් හැසිරෙන්නා වූ භික්ෂුවට චිත්තවික්ෂෙප සංඛ්‍යාත ඖද්ධත්‍යය ඇති නො වේ. ධර්මවිනයධරයා හට කළ යුත්ත නො කළ යුත්ත දැනෙන බැවින් සිදු වූ වරදට කළ යුතු ප්‍ර‍තිකාර දැනෙන බැවින් කෞකෘත්‍යය ද ඇති නො වේ. කැප අකැප බව පිළිබඳ ව ප්‍ර‍ශ්න කිරීම් බහුල තැනැත්තා අතින් වරද නො වන බැවින් කැප අකැප බව පිළිබඳ ව ප්‍ර‍ශ්න කිරීම් බහුල තැනැත්තා හට ද උද්ධච්චකුක්කුච්ච නීවරණය නූපදී. එය බොහෝ සෙයින් උපදින්නේ වරද සිදු වීම නිසා ය.

කියන ලද කරුණු සය නිසා යටපත් වන්නා වූ උද්ධච්ච කුක්කුච්ච දෙකින් උද්ධච්චයා ගේ මතු නූපදනා පරිදි දුරු වීම අර්හත්මාර්ගයෙන් ද, කුක්කුච්චයාගේ මතු නූපදනා පරිදි දුරු වීම අනාගාමී මාර්ගයෙන් ද සිදු වන්නේ ය.

විචිකිච්ඡා නීවරණය

විචිකිච්ඡා යනු සැකයට නමෙකි. සැකය නොයෙක් දේ පිළිබඳ ව නොයෙක් කරුණු පිළිබඳ ව ඇති වන්නකි. හැම දෙයක් ගැන ම ඇති වන හැම සැකය ම විචිකිච්ඡා නීවරණය නො වේ. මෙහි නීවරණ භාවයෙන් ගනු ලබන්නේ ධ්‍යානාදි ධර්ම ලැබීමට බාධා වන සැක පමණෙකි. ධ්‍යානාදි ධර්ම ලබා ගැනීමට බාධක වූ නීවරණ වන සැක අටෙකි. එනම් :-

බුදුන් කෙරෙහි සැක කිරීම ය, ධර්මය කෙරෙහි සැක කිරීම ය, සංඝයා කෙරෙහි සැක කිරීම ය, ත්‍රිශික්ෂාව කෙරෙහි සැක කිරීම ය, අතීත ස්කන්ධාදිය ගැන සැක කිරීම ය, අනාගත ස්කන්ධාදිය ගැන සැක කිරීම ය, ඒ දෙකොටස ම ගැන සැක කිරීම ය, පටිච්ච සමුප්පාදය ගැන සැක කිරීම ය යන මේ අට ය.

බුදුන් කෙරෙහි සැක කිරීම ය, යනු බුදුන් වහන්සේ සැබෑ විට ම සියල්ල දත් සේක් ද? නැත ද? යනාදීන් සැක කිරීම ය. සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය ඇත්ත වශයෙන් ඇතියක් ද? නැතියක් ද? තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය සත්‍ය ද? යනාදීන් සැක කිරීම ධර්මය කෙරෙහි සැක කිරීම ය. සංඝයා කෙරෙහි සැක කිරීම ය යනු සත්‍ය වශයෙන් අෂ්ටාර්‍ය්‍යපුද්ගල සංඝරත්නයක් ඇත ද? නැත ද? සුපටිපන්නතාදි ගුණවලින් යුක්ත පිරිසක් ඇත ද? නැත ද? යනාදීන් සැක කිරීම ය. ශික්ෂාව කෙරෙහි සැක කිරීම ය යනු ශීල සමාධි ප්‍ර‍ඥා සංඛ්‍යාත ත්‍රි ශික්ෂාව සත්‍ය වශයෙන් ම සංසාර දුඃඛයෙන් එතර කරවන ප්‍ර‍තිපත්තියක් ද? නැත ද? කියා ඇති වන සැකය ය. අතීතස්කන්ධාදීන් කෙරෙහි සැක කිරීම ය යනු තමා අතීතයේ දී එක්තරා පුද්ගලයකු වශයෙන් සිටියේ ද? නො සිටියේ ද? කියා ඇතිවන සැකය ය. අනාගතස්කන්ධාදීන් ගැන සැක කිරීම ය යනු අනාගතයෙහි නැවත නැවතත් උපදින්නෙම් ද? නූපදින්නෙම් ද? කියා ඇති වන සැකය ය. පටිච්ච සමුප්පාදය ගැන සැක කිරීම ය යනු මේ වර්තමාන ස්කන්ධ පඤ්චකය අතීත වූ අවිද්‍යා සංස්කාරාදි හේතූන් නිසා ඇති වූවක් ද? නැත ද? යනාදීන් හටගන්නා සැකය ය.

මේ අෂ්ටප්‍ර‍කාර විචිකිත්සාව දක්වා තිබෙන්නේ බෞද්ධ යෝගීන්ගේ වශයෙනි. රත්නත්‍ර‍ය නො හඳුනන අන්‍ය සමයයන්හි ධ්‍යාන වඩන යෝගාවචරයනට බාධක වන්නේ ඔවුන් ගේ ශාස්තෘවරයා ගැනත් ඔවුන් ගේ ධර්මය ගැනත් ඔවුන්ගේ ප්‍ර‍තිපත්තිය ගැනත් ඇති වන සැකය ය. බෞද්ධයෝ බුදුන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි, බුදුන් වහන්සේ දේශිත ත්‍රිශික්ෂාව කෙරෙහි, විශ්වාසය තබා ගෙන යෝග කරන්නෝ ය. ඔවුන්ට බුද්ධාදීන් කෙරෙහි සැක ඇති වුව හොත් භාවනාව හොඳින් නො කළ හැකි වේ. ධ්‍යානාදි ධර්ම, ඉතා ඕනෑකමින් ඉතා ආදරයෙන් මහත් වූ වීර්‍ය්‍යයෙන් භාවනාවෙහි නො යෙදුන හොත් නො ලැබෙන බැවින් භාවනාව ගැන සැලකිල්ල ආදරය උත්සාහය හීන වන සෑම කරුණක් ම එයට බාධක ය. බුද්ධාගමේ සැටියට පිළිවෙත් පුරන්නා හට බුද්ධාදීන් කෙරෙහි සැකය භාවනාව ගැන උත්සාහය මඳ වීමට බලවත් හේතුවකි. එ බැවින් එය නීවරණයක් වේ. අන් සමයයක ධ්‍යාන වඩන තැනැත්තා හට ද ඒ ශාස්තෘවරයා ගැන, ඒ ධර්මය ගැන සැකය එසේ ම බාධක ය. එ බැවින් ඔවුනට ඔවුන්ගේ ශාස්තෘවරාදීන් ගැන සැකය නීවරණ වේ.

යෝගාවචරයා විසින් තමා කෙරෙහි විචිකිත්සාව ඇත ද නැත ද කියා විමසිය යුතු ය. මෙය විමසීම් බහුල යුගයෙකි. එ බැවින් මෙ කල මනුෂ්‍යයන්ට පෙරට වඩා විචිකිත්සා අධික ය. එය දුරු කර ගැනීමට ද අපහසු ය. තමා කෙරෙහි විචිකිත්සාව ඇති නැති බව තේරුම් ගැනීමට අපහසු නැත. විමසා තමා කෙරෙහි විචිකිත්සාව ඇති නම් ඇති බව ද, නැති නම් නැති බව ද, තේරුම් ගෙන එය ඉපදීමේ හේතු ආදිය ද සිතිය යුතු ය.

“අත්ථි භික්ඛවෙ. විචිකිච්ඡාඨානියා ධම්මා තත්ථ අයොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය උප්පන්නාය වා විචිකිච්ඡාය භීය්‍යොභාවාය වෙපුල්ලා ය.”

විචිකිත්සාව ගේ උත්පත්තියට හේතු වන කරුණු කෙරෙහි නුසුදුසු සේ මෙනෙහි කිරීම නූපන් විචිකිත්සාව ඉපදීමට හා උපන් විචිකිත්සාව වැඩීමට ද හේතු වන්නේ ය.

විචිකිත්සාව ඉපදීමේ බලවත් හේතුව විචිකිත්සාව ම ය. එක් කරුණක් ගැන වරක් ඇති වූ විචිකිත්සාව ප්‍ර‍හාණය නො කළ හොත් ඒ විචිකිත්සාව නැවත නැවත ඇති වන්නට පටන් ගන්නේ ය. ඒ එක් කරුණක් ගැන ඇති වන විචිකිත්සාව නිසා තවත් තවත් බොහෝ කරුණු ගැන විචිකිත්සා ද ඇති වන්නේ ය. බුදුන් වහන්සේ කෙරෙහි විචිකිත්සාව ඇති වුව හොත් එය නිසා ඉතිරි කරුණු සත ගැන ද විචිකිත්සා ඇති වේ. ශික්ෂාදි කරුණු පිළිබඳ විචිකිත්සාවෙන් ද එසේ ම ඉතිරි විචිකිත්සා ද ඇති වේ. එ බැවින් විචිකිත්සාව වඩ වඩා ඇති වීමේ හේතුව විචිකිත්සාව ම බව දත යුතු ය. එය දුරු වන පරිදි ඒ ගැන මෙනෙහි කිරීම විචිකිත්සාව ගැන සුදුසු සේ මෙනෙහි කිරීම ය.

“අත්ථි භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා සාවජ්ජානවජ්ජා ධම්මා සෙවිතබ්බාසෙවිතබ්බා ධම්මා හීනනප්පණිතා ධම්මා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය අනුප්පාදාය, උපපන්නාය වා විචිකිච්ඡාය න භීය්‍යොභාවාය.”

කුශලාකුශල ධර්මයන් කෙරෙහි සාවද්‍යානවද්‍ය ධර්මයන් කෙරෙහි සේවිතව්‍යාසේවිතව්‍ය ධර්මයන් කෙරෙහි හීනප්‍ර‍ණීත ධර්මයන් කෙරෙහි කෘෂ්ණ ශුක්ල ධර්මයන් කෙරෙහි සුදුසු සේ මෙනෙහි කිරීම් බහුල බව නිසා නූපන් විචිකිච්ඡාවෝ නූපදනාහ. උපන් විචිකිත්සාවෝ දුරු වන්නා හ.

පිටකත්‍ර‍ය ධර්මය සම්පූර්ණයෙන් ම හෝ ඉන් යම් කිසි කොටසක් හෝ උගෙන තිබීම ය, රත්නත්‍ර‍ය පිළිබඳ වූ ප්‍ර‍ශ්නයන් විචාරීම ය, විනයයෙහි සැටි දැනීම ය, රත්නත්‍ර‍ය කෙරෙහි බැස ගත් ශ්‍රද්ධාව ඇති බව ය, රත්නත්‍රයෙහි පහන් කල්‍යාණ මිත්‍ර‍යන් ඇති බවය, සුදුසු කථාය යන මේ කරුණ සය නිසා ද විචිකිත්සාව දුරු වේ.

ඒ කරුණු වලින් ප්‍ර‍හාණය කළ විචිකිත්සාව, සෝතාපත්ති මග්ගයෙන් මතු නූපදිනා පරිදි දුරු වන්නේ ය.

නීවරණ විස්තරය නිමි.

මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවෙහි ස්කන්ධායතන බෝධ්‍යංගාර්‍ය්‍යසත්‍යයන් සම්මර්ශනය කිරීම දක්වා ඇත ද, මෙ බඳු කුඩා පොතකින් ඒ සියල්ල දැක්විය නොහෙන බැවින් ධම්මානුපස්සනාව මෙ පමණකින් සමාප්ත කළෙමු.

සතිපට්ඨාන වැඩීම සිදුවන්නේ ඉහත දැක්වූ භාවනාවන් කිරීමෙන් පමණක් නොවේ. ශමථ විදර්ශනා දෙකට අයත් හැම කුශල භාවනාවකින් ම සතිපට්ඨානයෝ වැඩෙති. ඒ හැම භාවනාවක් ම කායානුපස්සනාදි සතරෙන් යම් කිසිවකට අයත් වේ. එබැවින් කිනම් භාවනාවක වුව ද යෙදීම සතිපට්ඨාන භාවනාව බව දත යුතු ය.

සති සමාධි දෙදෙනාගේ වෙනස

කියන ලද කරුණු අනුව සිතන්නා වූ පින්වතුන්ට සමහර විට සති සමාධි දෙක අවුල් වන්නට ද පුළුවන. ඒ දෙක්හි එකිනෙකට ඇති වෙනස මෙසේ ය. සිත අකුශල පක්ෂයට බැස නානාරම්මණයන්හි විසිරී යන්නට නොදී යම් කිසි කුශල භාවනාවක සිත බැඳ තබන්නා වූ භාවනාවෙන් බැහැරට ගියා වූ සිත නැවත ඒ අරමුණට පමුණුවන්නා වූ ධර්මය සතිය ය. යම් කිසි අරමුණක තමා ද ස්ථිර ව පිහිටා සිත ද එහි පිහිට වන්නා වූ සිතට නානාරම්මණයන්ට පැන යන්නට ඉඩ නො දෙන්නා වූ ධර්මය සමාධිය ය. සතිය සමාධියෙන් වෙන් ව පවත්නා ධර්මයක් නො වේ. එය සෑම කල්හි ම සමාධිය හා බැඳී පවත්නේ ය. සතියෙන් වෙන් ව පවත්නා කුශල සමාධියක් ද නැත්තේ ය. සැම කුශල සමාධියක් ම සතිය සමඟ ම පවත්නේ ය.

සතිපට්ඨානයන් ගේ ලෞකික ලෝකෝත්තර භේදය

සතිපට්ඨානයෝ ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වෙති. ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වන්නට පූර්වයෙහි විදර්ශනා කිරීමෙහි දී පවත්නා සතිපට්ඨානයෝ ලෞකිකයෝ ය. ලෝකෝත්තර මාර්ගඵල චිත්තයන්හි ඇත්තා වූ සතිපට්ඨානයෝ ලෝකෝත්තරයෝ ය. ලෞකික චිත්තයන්හි සතිපට්ඨාන සතර එකවර නො ලැබේ. කේශාදි කාය කොට්ඨාසයන් පිරිසිඳින්නා වූ විදර්ශනා චිත්තයන්හි කායානුපස්සනා සතිපට්ඨානය ලැබේ. සුඛාදි වේදනාවන් පිරිසිඳින්නා වූ විදර්ශනා චිත්තයන්හි වේදනානුපස්සනා සතිපට්ඨානය ලැබේ. සරාගාදි චිත්තයන් පිරිසිඳින්නා වූ විදර්ශනා චිත්තයන්හි චිත්තානුපස්සනා සතිපට්ඨානය ලැබේ. කාය වේදනා චිත්ත යන තුනෙන් අන්‍ය ධර්මයන් පිරිසිඳින්නා වූ විමසන්නා වූ විදර්ශනා චිත්තයන්හි ධම්මානුපස්සනා සතිපට්ඨානය ලැබේ. මෙසේ ලෞකික චිත්තයන්හි ලෞකික සතිපට්ඨාන එක් එක් වරෙක එක බැගින් ලැබේ.

කේශාදි කාය කොට්ඨාසයන් විදර්ශනා කරමින් රූප කය සම්බන්ධයෙන් පවත්නා වූ නිත්‍යය ශුභය සුඛය ආත්මය යන වැරදි හැඟීම් දුරු කරන්නා වූ ද, වේදනාවන් විදර්ශනා කරමින් වේදනා සම්බන්ධයෙන් ඇති වැරදි හැඟීම් දුරු කරන්නා වූ ද, චිත්තයන් විදර්ශනා කරමින් චිත්තය සම්බන්ධ වැරදි හැඟීම් දුරු කරන්නා වූ ද, ධර්ම කොට්ඨාසයන් විදර්ශනා කරමින් ධර්මයන් සම්බන්ධයෙන් ඇති වැරදි හැඟීම් දුරු කරන්නා වූ ද, යෝගාවචරයා හට සතිපට්ඨානය වැඩි දියුණු වීමෙන් යම් කිසි දිනයක දී ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වන්නේ ය. ඒ ලෝකෝත්තර මාර්ගයේ බලයෙන් එ කෙණෙහි ම මතු කිසි කලෙක ඇති නො වන පරිදි කාය, වේදනා, චිත්ත, ධම්ම යන මේවා සම්බන්ධයෙන් පවත්නා වූ නිත්‍යය, සුභය, සුඛය ආත්මය යන වැරදි හැඟීම් දුරු වන්නේ ය. එ බැවින් ලෝකෝත්තර මාර්ගයට අයත් වූ සතිය කාය ය සම්බන්ධ වූ වැරදි හැඟීම් දුරු වීමෙන් කායානුපස්සනා සතිපට්ඨානය ද වන්නේ ය.

වේදනාවන් සම්බන්ධ වැරදි හැඟීම් දුරු වීමෙන් වේදනානුපස්සනා සතිපට්ඨානය ද වන්නේ ය. චිත්තය සම්බන්ධ වැරදි හැඟීම් දුරු වීමෙන් චිත්තානුපස්සනා සතිපට්ඨානය ද වන්නේ ය. අන්‍ය ධර්මයන් සම්බන්ධ වූ වැරදි හැඟීම් දුරු වීමෙන් ධම්මානුපස්සනා සතිපට්ඨානය ද වන්නේ ය. මෙසේ ලෝකෝත්තර මාර්ගයට අයත් එක ම සතිය, සතිපට්ඨානයන්ගෙන් සිදු කරන කෘත්‍යය සතර ම සිදු කරන බැවින් ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි එකවර සතිපට්ඨාන සතර ම ලැබේ ය යි කියනු ලැබේ.

සතිපට්ඨාන භාවනාවේ අනුසස්

“චත්තාරො මෙ භික්ඛවෙ, සතිපට්ඨානා භාවිතා බහුලීකතා අපාරාපාරං ගමනාය සංවත්තන්ති.”

මහණෙනි,  වඩනා ලද්දා වූ නැවත නැවත වඩනා ලද්දා වූ මේ සසර සතිපට්ඨානයෝ සංසාරය නමැති මෙතෙරින් නිවන නමැති පරතෙරට යාම පිණිස පවත්නාහුය” යනු එහි තේරුම යි.

“යෙසං කෙසඤ්චි භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා විරඬා. විර‍ඩො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමි.”

“මහණෙනි, යම් කෙනකුන් විසින් නො වඩා හැර දැමීම් වශයෙන් සතර සතිපට්ඨානයෝ වරදන ලද්දාහු ද ඔවුනට නො වරදවා ම නිවනට පැමිණෙන ආර්‍ය්‍ය මාර්ගය නො ලැබීම් වශයෙන් වරදින්නේ ය.” යනු එහි අදහසයි.

“චතුසු භික්ඛවෙ, සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිත චිත්තා විහරථ මා වො අමතං පනස්ස.”

“මහණෙනි, තෙපි සතර සතිපට්ඨානයන්හි මනා කොට පිහිට වූ සිත් ඇතිව මාසය කරව්, ලැබිය හැකි නිවන නැති කර නො ගනිව්” යනු එහි අදහස ය.

දිනක් අනුරුද්ධ මහරහතන්වහන්සේ උන්වහන්සේ මහානුභාව සම්පන්න වීමේ හේතු විචාළ මහණ පිරිසකට මෙසේ වදාළ සේක.

“ඇවැත්නි, සතර සතිපට්ඨානයන් මැනවින් වැඩූ නිසා මම මහානුභාව ඇත්තේ වෙමි. ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් මැනවින් වැඩූ නිසා මම කල්ප දහසක් අතීතානාගත දෙක දක්නෙමි, මම නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමෙහි සමත් වෙමි. තනි වූ මම බොහෝ දෙනකු සේ පෙනී සිටීමට ද සමත් වෙමි, පියවි ඇසට නො පෙනෙන දෑ දැකීමට ද සමත් වෙමි, පියවි ඇසට පෙනෙන දෑ නො පෙනෙන සේ වැසීමට ද සමත් වෙමි, බිත්ති තාප්ප කඳු විනිවිද යාමට ද සමත් වෙමි, පොළොවෙහි දියෙහි මෙන් ගිලීමට හා මතුවීමට ද සමත් වෙමි, පොළොවෙහි ගමන් කරන්නාක් මෙන් ජලය මතුයෙහි ගමන් කිරීමට ද සමත් වෙමි, පක්ෂියකු මෙන් අහසෙහි ගමන් කිරීමට ද සමත් වෙමි. මහානුභාවසම්පන්න චන්ද්‍ර‍ සූර්‍ය්‍යයයන් අත ගෑමට ද සමත් වෙමි. බ්‍ර‍හ්මලෝකය දක්වා ඇති මේ ලෝකය තමා ගේ වශයෙහි පැවැත්වීමට ද සමත් වෙමි, මෙ ලොව ඇත්තා වූ ද අන්‍ය ලෝකයන්හි ඇත්තා වූ ද පියවි කනට නො ඇසෙන ශබ්ද ඇසීමට ද සමත් වෙමි, පරසිත් දැන ගැනීමට ද සමත් වෙමි, සරාගාදි වශයෙන් සත්ත්වයන් ගේ සිත් විභාග කොට දැන ගැනීමට ද සමත් වෙමි, මේ මේ දෙය මේ මේ දෙයට හේතුය මේ මේ දෙය මේ මේ දෙයට හේතු නො වේ ය යි හේතු අහේතූන් තත්ත්වාකාරයෙන් දැන ගැනීමට ද සමත් වෙමි, අතීතානාගත වර්තමාන කර්මයන්ගේ විපාක ප්‍ර‍ත්‍ය වශයෙන් හා හේතු වශයෙන් තත්ත්වාකාරයෙන් දනිමි. සත්ත්වයන් ඒ ඒ ගති වලට පැමිණෙන ප්‍ර‍තිපදාවන් තත්ත්වාකාරයෙන් දැන ගැනීමට සමත් වෙමි. සත්ත්වයන් ගේ නානා අධිමුත්තීන් දැන ගැනීමට ද සමත් වෙමි. අන්‍ය සත්ත්වයන්ගේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් වැඩුණු නො වැඩුණු බව තත්ත්වාකාරයෙන් දැන ගැනීමට ද සමත් වෙමි. ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ හානභාගිය භාවය හා විශේෂභාගිය භාවය ද ඒවායින් නැඟී සිටීමේ හේතු ද තත්ත්වාකාරයෙන් දනිමි. තමන් අතීතයේ උපන් ජාති පිළිවෙල තත්ත්වාකාරයෙන් දැන ගැනීමට ද සමත් වෙමි. තම තමන් ගේ කර්මානුරූප ව ඒ ඒ භවයට පැමිණෙන සත්ත්වයන් තත්ත්වාකාරයෙන් දැකීමට ද සමත් වෙමි, සකලාශ්‍ර‍වයන් ක්ෂය කොට අර්හත්වයට ද පැමිණ සිටිමි” යනුවෙනි. මේ ප්‍ර‍වෘත්තිය සංයුත්තනිකායේ අනුරුද්ධ සංයුක්තයෙහි සඳහන් වී තිබේ.

සතර සතිපට්ඨානයන් මනා කොට වඩන තැනැත්තා ඒ ජාතියේ දී ම ඔහුගේ පාරමිතාවේ හා වීර්‍ය්‍යයේ සැටියට සත්දින පටන් සත් වස දක්වා කාලය තුළ දී කාමරාග ව්‍යාපාදයන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කොට අනාගාමිත්වයට හෝ සකල ක්ලේශයන් ප්‍ර‍හාණය කොට අර්හත්වයට හෝ පැමිණෙන බව මහාසතිපට්ඨාන සූත්‍රයෙහි වදාරා තිබේ.

හිතවතුන්ට කළ යුතු උසස් උපකාරය

“යෙ භික්ඛවෙ, අනුකම්පෙය්‍යාථ. යෙ ච සොතබ්බං මඤ්ඤෙය්‍යුං මිත්තා වා අමච්චා වා ඤාති වා සාලොහිතා වා, තෙ වො භික්ඛවෙ, චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා සතිපට්ඨපෙතබ්බා.”

යනුවෙන් තථාගතයන් වහන්සේ “මහණෙනි, මිතුරු වූ හෝ අසල් වැසි වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යමකුට තෙපි අනුකම්පා කරන්නහු ද යමෙක් තොප ගේ වදන් අසතැයි සිතත් ද ඔවුන් සතර සතිපට්ඨානයන් වැඩීමෙහි යොදවව්” යයි වදාළ සේක. එබැවින් හිතවතකුට කළ යුතු වූ උසස් ම උපකාරය හැකි නම් සතිපට්ඨාන භාවනාවෙහි යෙදවීම ය. සතිපට්ඨාන භාවනාව සත්ත්වයාට මහත් වූ පිහිටකි.

බුද්ධාගමයේ පරිහානිය හා දියුණුව

බුද්ධාගම හෙවත් බුද්ධශාසනය නො පිරිහීම පිණිසත් එහි දියුණුව පිණිසත් කළ යුතු දේ ගැන නොයෙක් අයුරින් බෞඬයෝ කථා කෙරෙති. නොයෙක් වැඩ ද කෙරෙති. එහෙත් ඒ ගැන සිතන වැඩ කරන බොහෝ දෙනා එය සඳහා කළ යුතු උසස් දෙය නො දනිති. බුදුන් වහන්සේ ජීවමාන සමයේ දී දිනක් එක්තරා බමුණෙක් බුදුන් වහන්සේ වෙත එළඹ, බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු බුදුසස්න චිර කාලයක් නො පැවතීමේ හා පැවතීමේ හේතු විචාළේ ය. බුදුන් වහන්සේ ඔහුට එහි හේතු වදාරන සේක්:-

“චතුන්නං ඛො බ්‍රාහ්මණ, සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති. චතුන්නං ච ඛො බ්‍රාහ්මණ, සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්ත තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොති.”

යනුවෙන් “බ්‍රාහ්මණය, සතර සතිපට්ඨානයන් නො වැඩීම නිසා තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු සද්ධර්මය හෙවත් බුදු සස්න චිර කාලයක් නො පවත්වන්නක් වන්නේ ය. සතර සතිපට්ඨානයන් භාවනා කිරීම නිසා තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු බුදුසස්න බොහෝ කලක් පවත්නේ ය” යි වදාළ සේක. තථාගතයන් වහන්සේගේ මේ දේශනයේ සැටියට පෙනෙන්නේ බුදුසස්නේ දියුණුව පිණිස කළ යුතු උසස් සේවය සතිපට්ඨාන භාවනාව බව ය. එ බැවින් සසර දුකින් මිදී නිවන් දකිනු කැමති වූ ද, බුදුසස්න නඟා සිට වනු කැමති වූ ද, ආත්මාර්ථ පරාර්ථ දෙක සිදු කරනු කැමති වූ ද සත්පුරුෂයෝ තුමූ ද සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙත්වා! අන්‍යයන් ද සතිපට්ඨාන භාවනාවෙහි යොදත්වා!!

සතර සම්‍යක් ප්‍ර‍ධානයෝ

“චත්තාරො මෙ භික්ඛවෙ, සම්මප්පධානා, කතමෙ චත්තාරො? ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙනි වායමති විරියං ආරහති චිත්තං පග්ගණ්හාති පදහති.

උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.

අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.

උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීය්‍යො භාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො සම්මප්පධානාති.

මේ තථාගතයන් වහන්සේ විසින් සම්මප්පදාන සංයුක්ත යෙහි සම්මප්පධානයන් දේශනය කර තිබෙන ආකාරය ය.

ගස් මුල් වල වැටී තිබෙන වියළි කොළ වැනි නො වටිනා දේවල් මෙන් ප්‍රයෝජනය ඇති වටිනා දේවල් පහසුවෙන් නො ලැබිය හැකි ය. රන් රිදී මිල මුදල් වස්ත්‍රාභරණ ආහාර පාන වතු කුඹුරු යාන වාහනාදි වටිනාකම ඇති ප්‍රයෝජනවත් දේ ලැබීමට වෙහෙසිය යුතු ය. වටිනාකම බොහෝ ඇති, බොහෝ ප්‍රයෝජනවත් දේ ලැබීමට බොහෝ වෙහෙසිය යුතු ය. ලබන දෙයෙහි ලබන තනතුරෙහි වටිනාකම උසස්කම වැඩි වැඩි පමණට එය ලැබීමට වඩ වඩා වෙහෙසිය යුතු ය. ලිපිකාර කමක් තරම තනතුරක් ලැබීමට වුව ද වයස අවුරුදු පහ හයේ දී පටන් ගෙන වර්ෂ බොහෝ ගණනක් උගෙනීමෙහි යෙදිය යුතු ය. එහි නො යෙදිය හැකි අලස තැනැත්තකුට කිසිකලෙක ලිපිකරුවකු නො විය හැකි ය. ඊට වඩා උසස් තනතුරක් උසස් තත්ත්වයක් ලැබීමට නම් එයට වඩා දීර්ඝ කාලයක් වෙහෙසිය යුතු බව කියනු කිම? සතිපට්ඨාන භාවනාවෙහි ඵල වශයෙන් බලාපොරොත්තු විය යුතු වූ සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නව ලෝකෝත්තර ධර්මයන්ගෙන් එක් එක් ධර්මයක වටිනාකම ප්‍ර‍මාණ කළ නො හැකි ය.

“පථව්‍යා එකරජ්ජෙන සග්ගස්ස ගමනේන වා

සබ්බලෝකාධිපච්චෙන සෝතාපත්ති ඵලං වරං.”

යනුවෙන් තථාගතයන් වහන්සේ මුළු පොළොවට රජ වීමට ද වඩා ස්වර්ගයට යාමට ද වඩා දිව්‍යලෝක බ්‍ර‍හ්මලෝක සහිත වූ සකල ලෝක ධාතුවට අධිපති වීමට ද වඩා සෝවාන් ඵලය උතුමැ යි වදාළ සේක.

සත්කායදෘෂ්ටිය නමැති අපාය බීජය අප්‍ර‍හීණ භාවයෙන් සන්තානයෙහි පවත්නා වූ තැනැත්තේ සක්විති රජ ව සිටින්නේ ද දෙව්ලොව දෙව් රජ ව සිටින්නේ ද බඹ ලොව බඹරජ ව සිටින්නේ ද අතීතයෙහි කළ පව් ඇති බැවින් මතු නරකයට ගෙන යන්නට සිටින වරෙන්තු කාරයෙකි. ඔහු ගේ රජ සැපත ලිප මත සැළියේ සිටින කකුළුවා ලිප ගිනි මොලවන තෙක් දිය කෙළිමින් ලබන සතුට වැනි ය. එසේ අපායට යා හැකි ව සිටින පුද්ගලයා මතු අපායගාමී පව් නො කරන්නේ ද නො වේ. මෙය පෘථග්ජන සකල සත්ත්වයන් ගේ ම ස්වභාවය ය. ඔවුහු පිනින් ඔසවන ලදුව සමහර විට භවාග්‍ර‍යට ද යති. එහෙත් නැවත එයින් ච්‍යුත ව අපායට ද යති. එ බැවින් කුමන සැපතක සිටියත් පෘථග්ජන තත්ත්වය ඉතා භයානක ය.

දිනක් තථාගතයන් වහන්සේ රජගහනුවර පිඬු පිණිස හැසිරෙන සේක්: ඊරියක දැක සිනා පහළ කළ සේක. එකල්හි ආනන්ද මහ තෙරුන් වහන්සේ “ස්වාමීනි, කිනම් කරුණක් නිසා සිනහ පහළ කළ සේක් දැ” යි විචාළ සේක. තථාගතයන් වහන්සේ “ආනන්දය, අර ඊරිය දක්නෙහිදැ” යි විචාළ සේක. ආනන්ද මහ තෙරුන් වහන්සේ “එසේ ය, ස්වාමීනි” යි වදාළහ. තථාගතයන් වහන්සේ වදාරන සේක් “ආනන්දය, මේ ඊරිය කකුසඳ බුදුන් සමයෙහි එක් ආසන ශාලාවක් සමීපයේ කිකිළියක් ව විසුවා ය. ඈ එහි හිඳ විදර්ශනා කර්මස්ථානය සජ්ඣායනා කළා වූ එක් යෝගාවචරයකු ගේ දහම් හඬට ඇහුම්කන් දී ඒ පිනෙන් එයින් ච්‍යුත ව උබ්බරී නම් රාජකුමාරිකාවක් වූවා ය. එක් දවසක් ඈ වැසිකිළි වළෙක පණ රැසක් දැක පුළවක සංඥාව වඩා ප්‍ර‍ථමධ්‍යානය ලබා ඒ පිනෙන් එයින් ච්‍යුත ව බ්‍ර‍හ්මලෝකයෙහි උපන්නා ය. බ්‍ර‍හ්ම සම්පත්තියෙන් පිරිහී දන් ඈ ඊරියක් ව සිටින්නී ය. මේ කාරණය දැක සිනා පහළ කෙළෙමි” යි වදාළ සේක.

මෙසේ සැපයට පැමිණියත් එයින් පිරිහී නැවත දුකට පත් වන බව පෘථග්ජන ස්වභාවය ය. සාමාන්‍ය පෘථග්ජන සත්ත්වයන් තබා ලොවුතුරු බුදුබවට නියතවිවරණ ලබා සිටින මහ බෝසත්හු පවා වරින් වර උස් පහත් බවට පත්වන්නාහ. අප මහ බෝසතාණෝ විසි වසක් රජකම් කොට අසූදහසක් අවුරුදු නරකයෙහි පැසුණු බව තේමිය ජාතකයෙහි දක්වා තිබේ. කරුණු මෙසේ හෙයින් සත්කාය දෘෂ්ටිය නමැති අපාය බීජය ඇතිව විසීම ඉතා භයානක බව දත යුතු ය. සතිපට්ඨාන භාවනාවෙහි අනලසව යෙදී සත්කාය දෘෂ්ටිය නමැති අපාය බීජය ප්‍ර‍හාණය කොට සෝවාන් ඵලයට පැමිණිය හොත් ඒ තැනැත්තේ නැවත කිසි කලෙක අපායට නො පැමිණෙන්නේ ය. ඒ තැනැත්තා නැවත අපායෝත්පත්තියට හේතු වන පව් කම් ද නො කරන්නේ ය.

සක්විති රජ ව සිටියත් සෝවාන් නො වන තැනැත්තාට අපායෙහි වැටෙන්නට සිදු වන වාර ප්‍ර‍මාණ නො කළ හැකි ය. එ බැවින් අපායෝත්පත්තියෙන් සත්ත්වයා සම්පූර්ණයෙන් ම මුදවන සෝවාන් ඵලය සක්විති රජකම් එකකට නොව දහසකට දසදහසකට ලක්ෂයකට කෝටියකට ද වඩා අගනේ ය. එ පමණ වටිනාකම ඇති එපමණ උසස් ඒ සෝවාන් ඵලය නිකම් ම ලැබිය හැකි නො වේ. එය ලැබීමට එයට සෑහෙන උත්සාහයක් තිබිය යුතු ය. සම්‍යක් ප්‍ර‍ධාන ය යි කියනුයේ සතරමාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයන්ට පැමිණීමට ඒවා ලැබීමට ප්‍ර‍මාණ වන බලවත් වීර්‍ය්‍යයට ය.

සත්පුරුෂ සේවනය සද්ධර්ම ශ්‍ර‍වණාදියෙන් උත්සාහවත් වී නිවන් දකිනු රිසියෙන් සතිපට්ඨාන භාවනාවට පටන් ගත්තා වූ තැනැත්තාට එය කර ගෙන යාමට අමාරු වන නොයෙක් කරදර පැමිණෙන්නේ ය. රිසි සේ ආහාර පාන නො ලැබීමෙන් සමහර විට ඔහු ගේ ශරීරය දුබල වන්නේ ය. සමහර විට රෝග හට ගැනෙන්නේ ය. අඹු දරුවන් ඇතියකුට නම් ඔවුන් ගෙන් කරදර ඇති වන්නේ ය. දේපල ඇතියකුට නම් ඒවායින් කරදර ඇති වන්නේ ය. නෑයන්ගෙන් කරදර ඇති වන්නේ ය. දිළිඳු බව නිසා කරදර ඇති වන්නේ ය. සතුරු උවදුරු පැමිණෙන්නේ ය. සතුරන්ගෙන් උවදුරු පැමිණෙන්නේ ය. පස්කම් සුව විඳිනා අන්‍යයන් දැකීමෙන් සමහර විට කාම විතර්ක ද පහළ වන්නේ ය.

ඇතැම් කරුණු සම්බන්ධයෙන් ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ද පහළ වන්නේ ය. මේවා නිසා යෝගාවචරයාට ඒවා ගැන ව්‍යාවෘත වීමට කාලය ගැනීමට භාවනාව අඩු කරන්නට හෝ තාවකාලික වශයෙන් නවත්වන්නට හෝ සම්පූර්ණයෙන් ම නවත්වන්නට හෝ සිදු වන්නේ ය. ලෝකෝත්තර මාර්ගයට පැමිණීම දක්වා යටත් පිරිසෙයින් ලෞකික ධ්‍යානයකට හෝ පැමිණීම දක්වා සතිපට්ඨාන භාවනාවෙහි යෙදිය හැකි වීමට සතිපට්ඨාන භාවනාවෙන් නො පිරිහීමට ඉහත කී කරුණු සියල්ල ඉසිලීමටත් සමත් වන ප්‍ර‍බල වීර්‍ය්‍යයක් තිබිය යුතු ය. සම්‍යක් ප්‍ර‍ධාන යනු ඒ බලවත් වීර්‍ය්‍යයට කියන නම ය.

“කාමං තවො ච නහරූ ච අට්ඨි ච අවසිස්සතු. උපසුස්සතු සරීරෙ මංස ලෝහිතං යං තං පුරිසථාමෙන පුරිසපරක්කමෙන පත්තබ්බං න තං අපත්වා විරියස්ස සණ්ඨානං භවිස්සති.”

යනුවෙන් දැක්වෙන පරිදි “සමත් නහරත් ඇටත් පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා, ලේ මස් වියළී යතොත් වියළී යේවා, පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍ර‍මයෙන් යම් ලෝකෝත්තර ධර්මයකට පැමිණිය යුතු ද එයට නො පැමිණ කිනම් කරුණක් නිසා වත් වීර්‍ය්‍යය ලිහිල් නො කරමි ය, භාවනාව නො නවත්වමි ය” යි පවත්වන චතුරංග සමන්වාගත වීර්‍ය්‍යය මෙහි අදහස් කරන සම්‍යක් ප්‍ර‍ධාන වීර්‍ය්‍ය ය. අතීත භව බොහෝ ගණනක දී පුරන ලද පාරමිතා කුශල බලයෙන් උද්ඝටිතඥ විපඤ්චිතඥ භාවයට පැමිණ සිටි පුද්ගලයෝ බුද්ධකාලයේ දී ද, එයට සමීප කාලයේදී ද, දහම් අසා මඟ පල ලබා ගත්තෝ ය. දැනට ඉතිරි ව සිටින්නේ බණ ඇසීම පමණින් නිවන් දැකිය නොහෙන නෙය්‍ය පුද්ගලයන් ය. කියන ලද චතුරංග සමන්වාගත වීර්‍ය්‍ය වුවමනා ඔවුන්ට ය. නෙය්‍ය පුද්ගලයන් මඟපල ලැබීමට බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත ව බොහෝ කලක් භාවනාවෙහි යෙදිය යුතු ය.

“මඟ පල ලැබිය හැකි කාලය දැන් පසු වෙලා ය. ඒ නිසා මේ කාලයේ ලෝකෝත්තර ධර්මවලට නො පැමිණිය හැකිය” යි බොහෝ දෙනා කියතත් සත්‍යය නම් මෙ කල තථාගතයන් වහන්සේ විසින් දක්වන ලද සීමාව තෙක් වීර්‍ය්‍ය කරන අය නැති කමින් ලෝකෝත්තර ධර්මයන්ට පැමිණ සිටින අය දක්නට නැති බව ය. ඒ ලෝකෝත්තර ධර්මයන්ට පැමිණීමට කරන වීර්‍ය්‍යය පිළිබඳ ව තථාගතයන් වහන්සේ ගේ සීමාව නම් ලේ මස් වියළී ගොස් සම් නහර ඇට පමණක් ඉතිරි වුවත් නො නවත්වා ම ජීවිතාන්තය දක්වා භාවනාවෙහි යෙදීම ය. කාලයේ වරදින් මඟ පල නොලැබිය හැකිය යි නිශ්චය කළ යුත්තේ දෙතුන් සිය දෙනකුන්වත් තථාගතයන් වහන්සේ විසින් තැබූ සීමාව තෙක් වීර්‍ය්‍ය කොට කාහටවත් මඟ පලවලට පැමිණිය හැකි නුවුව හොත් පමණෙකි.

මේ ශාසනයෙහි මඟ පල ලැබිය හැක්කේ අසවල් කාලය දක්වා ය, ඉන් ඔබ්බට නො ලැබිය හැකි ය කියන බුද්ධදේශනයක් පිටකත්‍රයෙහි කොතනකවත් දක්නට නැත. මඟ ඵල ලැබෙන නො ලැබෙන කාල පරිච්ඡේදයක් ඇත්නම් එය මේ බුදුසස්නෙහි ඉතා වැදගත් කරුණෙකි. අපමණ කරුණු අන්තර්ගත විශාල පිටකත්‍රයෙහි බෞඬයන් විසින් අවශ්‍යයෙන් ම දැන සිටිය යුතු වූ ඒ කරුණ සඳහන් නො වන්නට හේතුවක් නැත. පිටකත්‍රයෙහි එය සඳහන් නොවන්නේ මඟපල ලැබීමේ කාල සීමාවක් නැති නිසා ය. බුදුන් වහන්සේ පිරිනිවන් පානා දිනයෙහි සුභද්‍ර‍ පරිබ්‍රාජකයා හට “ඉමෙ ච සුභද්ද, භික්ඛු සම්මා විහරෙය්‍යුං අසුඤ්ඤො ලොකෙ අරහන්තෙහි අස්ස” යි “සුභද්‍ර‍ය මේ භික්ෂූහු මනා කොට වාසය කෙරෙත් නම් ලොව රහතුන් ගෙන් සිස් නොවේය” යි වදාළ සේක. එයින් පෙනෙන්නේ මැනවින් පිළිවෙත් පුරත හොත් කවදාත් රහත් විය හැකි බව ය.

අතීතයේ නිවන් දුටු සැම දෙන ම පහසුවෙන් නිවන් දුටුවාහු නො වෙති. චක්ඛුපාල තෙරුන් වහන්සේ රහත් වූයේ ඇස් අන්ධ වන තුරු නො නිදා භාවනාවෙහි යෙදීමෙනි. පීති මල්ල තෙරුන් වහන්සේ රහත් වූයේ පයින් සක්මන් කොට එසේ කරන්නට නුපුළුවන් වූ කල්හි දණින් ද සක්මන් කරමින් වීර්‍ය්‍ය කිරීමෙනි. රාත්‍රි කාලයේ දණ ගාන්නා වූ උන්වහන්සේ මුවෙකැයිසිතා එක් රාත්‍රියක දී වැද්දෙක් සැත් පහරක් ගැසීය. සැත උන් වහන්සේගේ ශරීරයේ කා වැදිණ. උන් වහන්සේ එය ගල්වා දමවා එයට ප්‍ර‍තිකර කරන්නට නො ගොස් තුවාලය තණකොළ වැටියකින් වස්වා ගෙන ගල් තලයක් මත හිඳුවා ගෙන ජීවිතාපේක්ෂාව හැර භාවනාව ම කර ඒ රාත්‍රියෙහි ම සව් කෙලෙසුන් නසා රහත් වූහ.

මිලක්ඛ තෙරුන් වහන්සේ නිදිමත වන කල්හි පා දියෙහි ලාගෙන ද පිදුරු බිසි තෙමා හිස මත තබා ගෙන ද නො නිදා භාවනා කොට අනාගාමි ඵලයට පැමිණිය හ. මහා ඵුස්සදේව තෙරුන් වහන්සේ රහත් වූයේ විසි වසක් ගතපච්චාගත වත පුරමින් භාවනා කිරීමෙනි. කාලවල්ලි මණ්ඩපයේ විසූ මහානාග තෙරුන් වහන්සේට සත් වසක් නො නිදා උත්සාහ කොට ද රහත් වන්නට නුපුළුවන් විය. පසු ව උන් වහන්සේ රහත් වූයේ තවත් සොළොස් වසක් ගතපච්චාගත වත පුරමින් භාවනා කිරීමෙනි.

සම්‍යක් ප්‍ර‍ධාන වීර්‍ය්‍ය ඇති කර ගෙන ඉහත කී තෙරුන් වහන්සේලා මෙන් උත්සාහ කළහොත් ඔබට ද මේ ජාතියේ දී යටත් පිරිසෙයින් සෝවාන් ඵලයට වත් පැමිණෙන්නට පුළුවන් විය හැකි ය. උපන් කෙනකුට කවර ආකාරයකින් වත් නො මැරී නො සිටිය හැකි ය. කිනම් ආකාරයකින් හෝ මැරෙන්නට වන ඔබට, ධර්ම මාර්ගයේ ගමන් කොට මැරෙන්නට වුවහොත් එය අනිකකින් මරණයට පැමිණෙනවාට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් උතුම් ය. ඒ නිසා කෙලෙසුන් නැසීමට වීර්‍ය්‍ය කරන්නට බිය නො වන්න. දුෂ්කර ක්‍රියා කරන්නා වූ මහබෝසතාණන් වහන්සේට මාරයා අවුත් මහත් කරුණාවක් දක්වා “මේ දුෂ්කර ක්‍රියාවෙන් නො මැරී දිවි රැක ගනුව” යි අනුශාසනා කළේ ය.

මහබෝසතාණන් වහන්සේ “සංගාමෙ මෙ මතං සෙය්‍යො යං චෙ ජීවෙ පරාජිතො” යි “කෙලෙස් සතුරන් හා කරන මේ සංග්‍රාමයෙන් පැරද ජීවත් වෙනවාට වඩා මේ සංග්‍රාමයෙන් මිය යාම ම යෙහෙකැ” යි වදාළ සේක. ඔබ ද එය මෙනෙහි කරනු. මහා ඵුස්සදේව තෙරුන් වහන්සේ මෙන් විසි වසක් භාවනාවෙහි යෙදුණ හොත් මේ ජාතියේ දී ලෝකෝත්තර ගුණයක් ලැබිය නො හැකි වූයේ ද දීර්ඝ කාලයක් භාවනා කිරීමෙන් ලබන ඒ භාවනාමය පුණ්‍යස්කන්ධය ඉතා මහත් බැවින් ද ඉතා බලවත් බැවින් ද ඔබට ඒ පින් බෙලෙන් සුගතිවල ම උපදින්නට ලැබී උද්ඝටිතඥ හෝ විපඤ්චිතඥ හෝ පුද්ගලයකු වී මතු බුදු කෙනකුන්ගේ සස්නකදී පහසුවෙන් නිවන් දැකිය හැකි වන්නේ ය.

සම්‍යක් ප්‍ර‍ධානය සාමාන්‍යයෙන් එකක් වුව ද එයින් සිදු කරන කෘත්‍යයන් ගේ වශයෙන් එය සිවු වැදෑරුම් වේ.

  1. නූපන් අකුසල් නූපදනු පිණිස කරන වීර්‍ය්‍ය ය.
  2. උපන් අකුසල් ප්‍ර‍හාණය පිණිස කරන වීර්‍ය්‍ය ය.
  3. නූපන් කුසල් ඉපදීම සඳහා කරන වීයර්‍ය ය.
  4. උපන් කුසල්වල දියුණුව සඳහා කරන වීර්‍ය්‍ය ය.

යන මොවුහු සම්‍යක් ප්‍ර‍ධානයෝ සතර දෙන ය.

එළඹ තිබෙන මොහොතින් ඔබ වර්තමාන භවයෙහි ද අනාගත භව පරම්පරාවෙහි ද රූපාදි ආරම්මණයන් නිසා සත්ත්ව සන්තානයෙහි ඇති විය හැකි රාගාදි ක්ලේශයෝ ද, ඒ කෙලෙසුන්ගේ බලවත් වීම නිසා පෙරෙළිය නිසා සත්ත්වයා හට කරන්නට සිදු වන ප්‍රාණඝාතාදි පාප ක්‍රියාවෝ ද නූපන් අකුශලයෝ ය. විදසුන් වඩා සෝවාන් ඵලයට නො පැමිණි සත්කාය දෘෂ්ටිය අප්‍ර‍හීණ පුද්ගලයා හට ඉදිරියට වර්තමාන භවයේදී ද අනාගත භව පරම්පරාවෙහිදී ද අපායෝත්පත්තියට හේතු වන අප්‍ර‍මාණ අකුශල කර්ම සිදු විය හැකි ය. සත්කායදෘෂ්ටිය අප්‍ර‍හීණ තැනැත්තා කවර තත්ත්වයක සිටියේ ද මතු පව් නො කිරීම පිළිබඳ ස්ථිර නියමයක් ඇතියෙක් නො වේ.

අද මහ සිල්වතකු ව උග්‍රයෝගියකුව සිටින පෘථග්ජන පුද්ගලයා සමහර විට හෙට පස්කම් සැප විඳිමින් පව්කම් කරන්නකු විය හැකි ය. සිල්වතකු ලෙස ප්‍ර‍සිද්ධිය ලබා සිටින පැවිද්දකු සිවුරු හැර ගියහොත් අන් වරදක් කරනු දුටුවොත් ඇසුව හොත් අපේ බෞඬයෝ එයට කලබල වෙති. බුද්ධාගමත් අත් හරින තරමට සිතති. සැම පැවිද්දන්ට ම ගර්හා කරති. එය ආගම නො දැනීම නිසා වන කලබලයකි. පෘථග්ජනයකුට අනාගත සංසාරයේ තමා එක් ජීවිත කාලයක් මුළුල්ලෙහි වුව ද වරදින් මිදී වාසය කරන්නට ලද හොත් පුදුම විය යුක්ත එය ය. බැරි වීම පුදුමයක් නො වේ. එය පෘථග්ජන ස්වභාවය ය. පැවිදිව භාවනා කොට ධ්‍යානාභිඥා ලබා අහසින් ගමන් කරමින් සිටියා වූ ඇතැම් අය පවා ඒ සියල්ලෙන් පිරිහී නැවත ගිහි බවට පැමිණ තිබේ.

අතීතයේ රහතන් වහන්සේ කෙනකුගේ අතවැසි වූ අභිඥාලාභී සාමණේර නමක් විය. දිනක් රහතන් වහන්සේ මහත් ගෞරවයෙන් රුවන්වැලි මහා සෑය වඳිනු දැක සාමණේර තෙමේ “ස්වාමීනි, මල් ලදහොත් පුදන්නහුදැ”යි ඇසී ය. “සාමණේරය, මෙපමණ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින අන් තැනක් නැත. මල් ලද හොත් මේ අසදෘශ චෛත්‍යරාජයන් වහන්සේට කවරෙක් නො පුදාදැ” යි රහතන් වහන්සේ කීහ. සාමණේරයෝ රහතන් වහන්සේට “මඳකට ඉවසන සේක්වා” යි කියා ධ්‍යානයට සම වැදී අහසින් හිමාලය වනයට ගොස් මනා සුවඳින් හා පැහැයෙන් යුක්ත වූ මල් නෙළා පෙරහන් කඩයෙහි පුරවා මහසෑය පැදකුණු කරන මහරහතන් වහන්සේ මහසෑයේ දකුණු දිග සිට බස්නාහිර දිගට යන්නට ද කලින් ගෙනවුත් පිළිගැන්වූහ. තෙරුන් වහන්සේ “සාමණේරය, මල් ඉතා මඳ නො වේදැ” යි කීහ. ස්වාමීනි, බුදුගුණ මෙනෙහි කරමින් පුදන සේක්වා” යි සාමණේරයෝ කීහ.

රහතන් වහන්සේ මුදුන් වේදිකාවට නැඟ සෑය වටා මල් පිදූහ. වේදිකාව මලින් පිරිණ. එහෙත් පෙරහන සිස් නො වීය. දෙවන තුන්වන වේදිකාවල ද මල් පිදූහ. ඒවා ද පිරිණ. පෙරහණෙහි තවත් මල් තිබිණ. තෙරුන් වහන්සේ සෑ මලුයෙහි මල් විසුරුවන්නට පටන් ගත්හ. එද පිරිණ, පෙරහන සිස් නො වීය. “සාමණේරය, මල් අවසන් නො වන්නේ ය” යි රහතන් වහන්සේ කීහ. “ස්වාමීනි, පෙරහනෙහි මුව යටිකුරු කොට සලනු මැනව” යි සාමණේරයෝ කීහ. එසේ කළ කල්හි පෙරහන සිස් විය. රහතන් වහන්සේ පෙරහන සාමණේරයන්ට දී වැලි මලුවට බැස ඇත්පවුර වටා පැදකුණු කොට වැඳ පෙරළා වඩනා සේක්, සාමණේරයන්ට මේ සෘද්ධිය රැක ගත හැකි වේ දැ යි බලනා සේක් නො හැකි වන බව දැක, “සාමණේරය, දැන් තෙපි මහා සෘද්ධි ඇත්තාහු ය. මතු කාලයෙහි තොපට මේ සෘද්ධියෙන් පිරිහී කණ ගැහැනියක් පිස දෙන කැඳ බී ජීවත් වන්නට සිදු වන්නේ ය” යි වදාළ හ. එසේ වදාළ කල්හි ද සාමණේර තෙමේ තෙරුන් වහන්සේ ගෙන් කමටහන් ලබා ගෙන මඟ පල ලැබීමට උත්සාහ නො කෙළේ ය.

පසු කාලයේ දී ඒ සාමණේර නම අහසින් යනුයේ විලෙක ගී ගයමින් මල් නෙළන කතක ගේ හඬ අසා රාගය ඇවිස්සී ධ්‍යානයෙන් පිරිහී සිවුරු හැර ඇය හා වාසය කරන්නට පටන් ගත්තේ ය. ඔහු ජීවත් වූයේ රෙදි විවීමෙනි. දිනක් ඔහුගේ බිරිඳ ඉතා දවල් වී රෙදි වියන තැනට ආහාර ගෙන ආවා ය. හේ කිපී භාර්‍ය්‍යාවට සැර කෙළේ ය. එකල්හි බිරිඳ කියන්නී “අන් ගෙවල සහල් දර දුරු මිරිස් ආදිය ඇත්තේ ය. අඩු පාඩු දේ ගෙනැවිත් දෙන අය ද ඇත හ. අපගේ ගෙදර සේවකයෙක් ද නැත. ගෙදර ඇති නැති දේ ගැන ද ඔබ නො දන්නෙහි ය. ඔබ නිකම් ම සැර කරන්න පමණක් දන්නෙහි ය. බත් කනු කැමති නම් කන්න, නො කැමති නම් නිකම් සිටින්නය” යි කීවා ය. එයින් හේ වඩාත් කිපී නූල් ඔතන දණ්ඩක් ගෙන භාර්‍ය්‍යාව දෙසට දමා ගැසී ය. එය කොනක් හුල් දණ්ඩකි. ඒ හුල වැදී භාර්‍ය්‍යාවගේ ඇසක් අන්ධ විය. ඔහුට රහතන් වහන්සේ ගේ අනුශාසනය සිහි වූයේ එවිට ය.

එදා රහතන් වහන්සේ අනාවැකිය පැවසූ අවස්ථාවෙහි උන් වහන්සේ ගෙන් කමටහන් විචාරා උත්සාහ කෙළේ නම්, මේ සාමණේරයා හට මඟ ඵල ලබා පව් නො කිරීමේ නියත පුද්ගලයකු වන්නට තිබිණ. ඔහුට මේ පිරිහීම වූයේ එයට වීර්‍ය්‍ය නො කළ බැවිනි. ඒ නමට මෙන් පෘථග්ජන කාහට වුව ද එසේ විය හැකි ය. එ බැවින් පෘථග්ජන භාවයෙන් නො මිදී මම මහ උපාසකයෙක, උගතෙක, හික්මුණු කෙනෙක, පැවිද්දෙක, ආරණ්‍යකයෙක, පිණ්ඩපාතිකයෙක, ධ්‍යානලාභියෙක, මහල්ලෙක කියා මතු කෙලෙස් ඇති නො වීම ගැන මතු පව් නො කිරීම ගැන විශ්වාසය තබ නො සිටිය යුතු ය. සතිපට්ඨානයන් වඩා යටත් පිරිසෙයින් සෝවාන් මඟට වත් පැමිණීමට වීර්‍ය්‍ය කළ යුතු ය. එය නූපන් පාපයන් ඇති නො වීම සඳහා කරන වීර්‍ය්‍යය ය.

මුලක් නැත්තා වූ මේ සසර ඉතා දික් බැවින් කවරකු ගැන කථා කළත් ඔහු අතින් අතීතයේ සිදු වී තිබෙන පව් මෙතෙකැ යි ප්‍ර‍මාණ කළ හැකි නො වේ. මොහු අතීත සංසාරයේ අසවල් පාපය කර නැත ය කියා ද කිසිවකු ගැන නො කිය හැකි ය. එක් එක් අයෙකු විසින් අතීතයේ කර තිබෙන ඒ පව් රාශියෙන් එක්තරා කොටසක් විපාක දී අවසන් වීමෙන් ගෙවී තිබේ. එක්තරා කොටසක් විපාක දෙන කාලය ඉක්මීමෙන් අහෝසි වී තිබේ. මෙතෙක් විපාක නො දුන්නා වූ ද කාලය ඉක්මීමෙන් අවිපාක භාවයට නො පැමිණියා වූ ද අනාගතයේ විපාක දානයට තැනක් එනතුරු අවස්ථාවක් එන තුරු බලා සිටින්නා වූ විශාල අකුශල කර්ම රාශියක් ද ඇත්තේ ය. අනාගතයේ කිසිම අකුශල කර්මයක් නො කළත් එක් අයකුට ඇත්තා වූ ඒ අතීත අකුසල කර්ම රාශිය ම ඒ පුද්ගලයා අනන්ත වාරයක් නරකයට පැමිණ වීමට ප්‍රේතත්වයට පැමිණවීමට තිරශ්චීනත්වයට පැමිණවීමට ප්‍ර‍මාණවත් ය.

එ බැවින් ඒ අතීත අකුශලස්කන්ධය ප්‍ර‍හාණය නො කොට නැති කර නො ගෙන විසීම ඉතා භයානක ය. එය නැති කර ගැනීමට කිනම් පරිත්‍යාගයක් කොට වුව ද උත්සාහ කළ යුතු ය.

අතීත වූ අපාය ගාමිනී කර්මයන්ට සත්ත්වයා අපායට පැමිණවිය හැකි වන්නේ ඔහු තුළ සත්කාය දෘෂ්ටිය පවත්නා තෙක් පමණෙකි. සත්කාය දෘෂ්ටිය ගේ අනුත්පාද නිරෝධය අනුව අපායගාමිනී කර්මයෝ ද ක්ෂය වෙති. සසර සැරිසරන සත්ත්වයාට ඇත්තා වූ මහා භය නම් අපාය භය ය. නැති නම් සසර එතරම් නපුරු නොවේ. සත්කාය දෘෂ්ටිය ප්‍ර‍හාණය කළ සෝවාන් පුද්ගලයාට ඒ නපුර නැත්තේ ය. ඔහුට ඉදිරියට ඇත්තේ මනුෂ්‍ය දේව බ්‍ර‍හ්ම සංඛ්‍යාත සුගති භව පමණෙකි. අපාය ගාමිනී කර්ම පවත්නේ සත්කාය දෘෂ්ටියෙහි එල්බ ගෙන ය. ඒ සත්කාය දෘෂ්ටිය නැසීමට කළ යුතු දෙය සතිපට්ඨාන භාවනාව ය. සත්කාය දෘෂ්ටිය නැති කර ගැනීම සඳහා කරන උත්සාහය, නූපන් පාපයන් ඇති නො වීම පිණිස කරන උත්සාහය ද, උපන් පාපයන් නැති කිරීම සඳහා කරන උත්සාහය ද වේ. නූපන් පාපයන් ඇති වන්නට නො දීමටත් උපන් පාපයන් නැති කිරීමටත් සතිපට්ඨාන භාවනාව හැර අන් කළ යුත්තක් නැත.

ප්‍ර‍ථම ද්විතීය සම්‍යක් ප්‍ර‍ධාන දෙක වර්තමාන භවයාගේ වශයෙන් කියත හොත් මෙසේ ය. වර්තමාන භවයෙහි තමාගේ සන්තානයෙහි පරියුට්ඨාන වශයෙන් එතෙක් නූපන්නා වූ ක්ලේශයෝ ද තමා අතින් එතෙක් සිදු නො වූ ප්‍රාණඝාතාදි පාප ක්‍රියාවෝ ද අනුප්පන්න පාපයෝ ය. අනුශය වශයෙන් පවත්නා ක්ලේශයන් ඇති තැනැත්තා ගේ සන්තානයෙහි ඒවාට කවර අවස්ථාවක වුව ද නැඟ එන්නට ඉඩ ඇත්තේ ය. කෙලෙස් සහිත තැනැත්තා අතින් පව්කම් ද සිදු විය හැකි ය. මම ඒ ක්ලේශයන් ප්‍ර‍හාණ කොට සිටින්නෙම් නො වෙමිය. කෙලෙස් සහිත ව විසුව හොත් මේ භවයෙහි පාපයෙන් වැළකුණත් අනාගත භවවල දී නො වැළකිය හැකි ය. මා විසින් මෙතැන් පටන් නිවනට පැමිණෙන තෙක් ඒ අනුප්පන්න පාපයන් මාගේ සන්තානයෙහි ඇති නොවනු පිණිස ක්‍රියා කළ යුතු ය යි සලකා අනුත්පන්න පාපයන් නූපදනා පිණිස ශීල පූරණයෙහි ද සතිපට්ඨාන භාවනාවෙහි ද යෙදීම් වශයෙන් පවත්වන්නා වූ බලවත් වීර්‍ය්‍යය නූපන් අකුසලයන් නූපදනා පිණිස පවත්වන වීර්‍ය්‍යය වූ ප්‍ර‍ථම සම්‍යක් ප්‍ර‍ධානය ය.

වර්තමාන භවයෙහි අතීතයෙහි තමා ගේ සන්තානයෙහි පරියුට්ඨාන භාවයට පැමිණියා වූ ක්ලේශයෝ ද, ඒ ක්ලේශයන් නිසා කරන්නට සිදු වූ ප්‍රාණඝාතාදි පාපයෝ ද උත්පන්න පාප යෝ ය. “මාගේ සන්තානයෙහි මේ පාපයන්ට මතු මතුවටත් මෙසේ ඇති වන්නට ඉඩ දුන හොත් මට අපායෙන් මිදීමට ද නො වන්නේ ය. සසර දුකින් මිදීමක් ද නො වන්නේ ය. මේ පාපයන් මාගේ සන්තානයෙහි නැවත නැවත ඇති වන්නේ අනුශයිත ක්ලේශයන් නිසා ය. මතු ඒ පව් මාගේ සන්තානයෙහි ඇති වන්නට ඉඩ නො දිය යුතුය” යි සලකා ඒ අනුශයිත ක්ලේශයන් සහමුලින් උපුටා ලීම පිණිස ශීලපූරණයෙහි ද ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙහි ද, නො පසු බස්නා වූ ද බලාපොරොත්තුව මුදුන් පත් වන තුරු නො නවත්නා වූ ද, බලවත් වීර්‍ය්‍යය, උපන් පාපයන් ප්‍ර‍හාණය කිරීම පිළිබඳ වීර්‍ය්‍යය වූ දෙවන සම්‍යක් ප්‍ර‍ධානය ය.

මේ සම්‍යක් ප්‍ර‍ධාන කථාවෙහි කුශල විභාගය ශීල සමාධි ප්‍ර‍ඥා යන ත්‍රිශික්ෂාවගේ වශයෙන් ද ශීලවිශුද්ධ්‍යාදි සප්ත විශුද්ධීන් ගේ වශයෙන් ද විස්තර කළ යුතු ය. ඒවායේ අනුත්පන්නෝත්පන්න විභාගය වර්තමාන භවයාගේ වශයෙන් ද සංසාරයා ගේ වශයෙන් ද විස්තර කළ හැකි ය.

ශීලය ද ලෞකික ශීල - ලෝකෝත්තර ශීල වශයෙන් දෙ වැදෑරුම් වේ. පෘථග්ජන පුද්ගලයා හට වර්තමාන භවයා ගේ වශයෙන් කියතත් සංසාරයාගේ වශයෙන් කියතත් ලෝකෝත්තර ශීලය නූපන් කුශලයක් ම ය. පඤ්චශීල අෂ්ටාංගශීල දශශීල සාමනේරශීල උපසම්පදා ශීල යන මේවා ලෞකික ශීලයෝ ය. සංසාරය අති දීර්ඝ බැවින් අතීත සංසාරයා ගේ වශයෙන් කියත හොත් සැම සත්ත්වයකුට ම ඒ ලෞකික ශීල උත්පන්න කුසලයන් සැටියට කිය යුතු ය. වර්තමාන භවයා ගේ වශයෙන් කියත හොත් එතෙක් කිසි ශීලයක නො පිහිටි තැනැත්තා හට සකල ශීලයෝ ම අනුත්පන්න කුශලයෝ ය. පඤ්ච ශීලයෙහි පිහිටි තැනැත්තා හට එය උත්පන්න කුශලය වේ. ඉතිරි ශීලයෝ අනුත්පන්න ශීලයෝ ය. අෂ්ටාංගික ශීලයෙහි පිහිටි තැනැත්තා හට පඤ්චශීලය ද අෂ්ටාංග ශීලය තුළ ඇති බැවින් පඤ්චශීල අෂ්ටාංගශීල දෙක උත්පන්න කුශලයෝ ය. ඉතිරි ශීලයෝ අනුත්පන්න ශීලයෝ ය. පඤ්චශීලාදි සකල ශීලයෝ උපසම්පදා ශීලය තුළ ඇත්තාහු ය. එ බැවින් උපසම්පදා ශීලයෙහි පිහිටි තැනැත්තා හට සකල ලෞකික ශීලයෝ ම උත්පන්න කුශලයෝ වෙති.

ලෝකෝත්තර මාර්ගයට අයත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගත්‍ර‍ය ලෝකෝත්තර ශීලය ය. ලෞකික ශීලයෙහි ස්ථිරත්වයක් නැත. හොඳ හපනකුට වුව ද එය පැවැත්විය හැක්කේ එක් භවයක දී පමණෙකි. එය දෙවන භවයට නො යන්නේ ය. ලෝකෝත්තර ශීලය නිවනට පැමිණීම තෙක් ස්ථිර ව පවත්නේ ය. ලෝකෝත්තර ශීලයෙහි පිහිටි තැනැත්තා මතු කිසි කලෙක කොහි උපන්නත් දුශ්ශිලයෙක් නො වන්නේ ය. ලෝකෝත්තර මාර්ගයෙහි වූ සම්මා වාචාවෙන් වාග් දුශ්චරිතයන්ට හේතු වන ක්ලේශයන් හා වාග් දුශ්චරිතයෝ මතු ඒ සන්තානයෙහි නූපදනා පරිදි ප්‍ර‍හාණය කරනු ලැබෙත්. සම්මා කම්මන්ත මාර්ගාංගයෙන් කාය දුශ්චරිතයට හේතු වන ක්ලේශයන් හා කාය දුශ්චරිතයෝ මතු නූපදනා පරිදි ප්‍ර‍හාණය කරනු ලැබෙත්. සම්මා ආජීව මාර්ගාංගයෙන් මිථ්‍යාජීවයට හේතු වන ක්ලේශයන් හා දිවි පැවැත්ම සඳහා කරන අකුශල කායවාක් කර්මයෝ මතු ඒ සන්තානයෙහි නූපදනා පරිදි ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

සමාධිය ද ලෞකික ය, ලෝකෝත්තරය යි දෙ වැදෑරුම් වේ. එයින් ලෞකික සමාධිය, කාමාවචර සමාධියය, රූපාවචර සමාධිය ය, අරූපාවචර සමාධිය ය යි තෙවැදෑරුම් වේ. පරිකර්ම සමාධි උපචාර සමාධි අර්පණා සමාධි වශයෙන් ද සමාධිය තෙ වැදෑරුම් වේ. පරිකර්‍ම සමාධිය යනු යම් කිසි භාවනාවෙක යෙදෙන්නහුට ආදියෙහි ඇති වන සමාධිය ය. උපචාර සමාධිය යනු රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සමාධීන්ට ආසන්න වූ බලවත් සමාධිය ය. පරිකර්ම උපචාර සමාධි දෙක කාමාවචර සමාධි ය. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සමාධීහු අර්පණා සමාධි නම් වෙති. පෘථග්ජන පුද්ගලයන්ට ලෝකෝත්තර සමාධිය අනුත්පන්න සමාධියෙකි.

අතීත සංසාරයාගේ වශයෙන් කියත හොත් අතිදීර්ඝ වූ මේ සංසාරයෙහි අසවලා අසවල් සමාධිය උපදවා නැතය යි කිය හැකි ලෞකික සමාධියක් නැත්තේ ය. කල්ප විනාශයේ දී සත්ත්වයෝ ධ්‍යාන උපදවා රූපාරූප බ්‍ර‍හ්මලෝකවලට යෙති. එ බැවින් සකල ලෞකික සමාධීහු ම අතීත සංසාරයා ගේ වශයෙන් කියන කල්හි සකල සත්ත්වයනට උත්පන්න සමාධි හැටියට කිය යුත්තාහු ය. වර්තමාන භවයා ගේ වශයෙන් කියත හොත් කිසි ම භාවනාවකට නො බව පුද්ගලයා හට සකල සමාධි කුශලයෝ ම අනුත්පන්න කුශලයෝ ය. අනාපාන භාවනාදි භාවනාවක් කරන තැනැත්තාට පරිකර්ම සමාධිය උත්පන්න කුශලයෙකි. උපචාරසමාධ්‍යාදීහු අනුත්පන්න සමාධීහුය. උපචාර සමාධිය ලැබුවහුට පරිකර්ම උපචාර සමාධි දෙක උප්පන්න කුශලයෝ ය. අර්පණා සමාධිය අනුත්පන්න කුශලය ය. අර්පණා සමාධිය ධ්‍යානයන් ගේ වශයෙන් බහු ප්‍රභේද වේ. ඒවායේ උත්පන්නානුත්පන්න විභාගය ද සැලකිය යුතු ය.

“යො ච සම්මා වායාමො, යා ච සම්මා සති, යො ච සම්මා සමාධි ඉමෙ ධම්මා සමාධික්ඛන්ධෙ සංගහිතා” යනුවෙන් සමාධි ස්කන්ධයෙහි සංග්‍ර‍හ වන බව වදාළ, සම්මාවායාම සම්මාසති සම්මා සමාධි යන ලෝකෝත්තර මාර්ගාංගයෝ තිදෙන ලෝකෝත්තර සමාධිය ය. එද පඨමජ්ඣාන ලෝකෝත්තර සමාධිය ය, දුතියජඣාන ලෝකෝත්තර සමාධිය ය, තතියජ්ඣාන ලෝකෝත්තර සමාධිය ය, චතුත්ථජ්ඣාන ලෝකෝත්තර සමාධිය ය, පඤ්චමජ්ඣාන ලෝකෝත්තර සමාධිය ය යන ක්‍ර‍මයෙන් පඤ්චප්‍ර‍කාර වේ.

ප්‍ර‍ඥාව ද ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වේ. ලෞකික ප්‍ර‍ඥාවෙහි ප්‍රභේද බොහෝ ය. කම්පල දන්නා නුවණ ය, පියවි ඇසට නො පෙනෙන දෑ දක්නා වූ දිබ්බචක්ඛු නම් වූ නුවණ ය. පියවි කනට නො ඇසෙන දෑ ඇසිය හැකි දිබ්බසෝත නම් වූ නුවණ ය, අනුන්ගේ සිත් දන්නා නුවණ ය, තමන්ගේ අතීත ජාති පිළිවෙල දන්නා නුවණ ය, අතීතානාගත දෙක දක්නා නුවණ ය, මරණින් මතු සත්ත්වයන් උපදින තැන දන්නා වූ නුවණ ය. ස්කන්ධාදි ධර්ම විභාග දන්නා නුවණ ය, ස්කන්ධාදි ධර්මයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ දන්නා නුවණ ය යන ආදීහු ලෞකික ප්‍ර‍ඥාවෝ ය.

සප්ත විශුද්ධීන්ගේ ශීලවිශුද්ධිය, ත්‍රිශික්ෂාවෙන් ශීල ශික්ෂාවට ද, චිත්තවිශුද්ධිය - සමාධි ශික්ෂාවට ද, ඉතිරි විශුද්ධි පස ප්‍ර‍ඥාශික්ෂාවට ද අයත් වේ. ඒවායින් දිට්ඨි විසුද්ධි, කංඛා විතරණ විසුද්ධි, මග්ගාමග්ගඥාණදස්සන විසුද්ධි, පටිපදාඤාණදස්සන විසුද්ධි යන මේ සතර ලෞකිකයෝ ය. ඤාණදස්සනවිසුද්ධිය ලෝකෝත්තර ය.

සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන ලෝකෝත්තර මාර්ගයන්හි ඇත්තා වූ සම්මාදිට්ඨි සම්මාසංකප්ප යන මාර්ගාංග ධර්මයෝ ලෝකෝත්තර ප්‍ර‍ඥාව ය.

අතීත සංසාරයාගේ වශයෙන් කියත හොත් මේ සත්ත්වයන්ට ලෞකික ප්‍ර‍ඥාවන්ගෙන් බොහෝවක් ම උපන් කුශලයන් හැටියට කිය යුතු ය. පෙර බුදු සසුන්වලදී විදසුන් වඩා දිට්ඨි විසුද්ධි කංඛාවිතරණ විසුද්ධි මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි පටිපදාඤාණදස්සන විසුද්ධීන් උපදවා ඇති අයට ඒවා ද උත්පන්න කුශලයෝ වෙති. අතීත ජාතිවල දී ඒවා නො වැඩුවන්ට ඒවා අනුත්පන්න කුශලයෝ ය. වර්තමාන භවයා ගේ වශයෙන් කියත හොත් කිසි ප්‍ර‍ඥාමය කුශලයක් නූපද වූ තැනැත්තාට සකල ප්‍ර‍ඥාමය කුශලයෝ ම අනුත්පන්නයෝ ය. යමකු විසින් යම් යම් ප්‍ර‍ඥාවක් උපදවන ලද ද ඒ ඒ අයට ඒවා උත්පන්න කුශලයෝ ය. සෙස්සෝ අනුත්පන්න කුශලයෝ ය. ලෝකෝත්තර කුශල ප්‍ර‍ඥාව පෘථග්ජන සැමට ම අනුත්පන්න කුශලයෙකි.

නූපන් කුශල් ඉපදවීම ය, උපන් කුසල් වැඩීම ය යන මේ දෙ කිස සිදු කිරීමෙන් නූපන් අකුසල් නූපදවීම ය, උපන් අකුසල් ප්‍ර‍හාණය කිරීම ය යන මේ දෙ කිස ද සිදු වේ. ඒ දෙ කිස සිදු කිරීම් වශයෙන් කළ යුතු අනෙකක් නැත. ලෝභාදි ක්ලේශයන් ගේ අවස්ථා තුනක් ඇත්තේ ය. අනුශයාවස්ථාව ය, පරියුට්ඨානාවස්ථාව ය, ව්‍යතික්‍ර‍මාණාවස්ථාව ය යන මොව්හු ක්ලේශයන් ගේ අවස්ථාවෝ ය. අනුශයාවස්ථාවය යනු උත්පාදාදි අවස්ථා තුනට පැමිණීම් වශයෙන් නැගී නො සිට කරුණක් ඇති වුව හොත් නැගී ආ හැකි සැටියට අප්‍ර‍හීණ භාවයෙන් පවත්නා අවස්ථාව ය. ලෝකෝත්තර මාර්ගයෙන් මතු නූපදනා පරිදි කෙලෙස් පහ නො කළ කෙනකු වුව හොත් ඔහු කොතෙක් සිල්වතකු වුවත් උග්‍ර‍ තපස් ඇතියකු වුවත් ධ්‍යාන ලබා අහසින් යන කෙනකු වුවත් අනුශය අවස්ථාවෙහි සිටින ක්ලේශයෝ ඔහු කෙරෙහි ඇත්තාහ.

නිදා සිටින්නා වූ ඒ ක්ලේශයන්ගේ චිත්ත සන්තානයට නැඟ නැඟ ඒම, ක්ලේශයන් ගේ දැඟලීම, කුශල ධර්මයන් බොහෝ කොට පුරුදු කරන්නවුන්ට මඳ ය. ඒවායේ නැගීමට හේතු වන අරමුණු ලැබ ද කුශලයන් වඩන්නන් ගේ සන්තානවල නොයෙක් විට ඒවා නො නැඟී ද සිටිති. ඉන්ද්‍රිය දමනයක් නැති කුශලධර්ම වැඩීමක් නැති තැනැත්තන්ගේ සන්තානවල ඒවා ලබන ලබන විෂභාගාරම්මණයක් පාසා ම නැගී එති. එබඳු පුද්ගලයන්ගේ සිත් කෙලෙසුන්ට කෙළිමඩුවකි. විෂභාගාරම්මණයන් ලැබ චිත්තසන්තානයෙහි උත්පාදාදි ක්ෂණත්‍ර‍යට පැමිණීම් වශයෙන් කෙලෙසුන් ගේ නැඟී සිටින අවස්ථාවට පර්යුත්ථානාවස්ථාවය යි කියනු ලැබේ. පර්යුත්ථානාවස්ථාවට පැමිණි ක්ලේශය සමහර විට අන්‍ය පාපකර්මයක් සිදු නො කොට සන්සිඳී යයි. සමහර අවස්ථාවක දී පර්යුත්ථානමාත්‍රයෙන් නො නැවතී ප්‍රාණඝාතාදි පාපක්‍රියා ද කොට පුද්ගලයා දුසිල් බවට ද පමුණුවයි. පර්යුත්ථාන අවස්ථාවට පැමිණීම් මාත්‍රයෙන් නො නැවතී ඉන් ඔබ්බට ද ගොස් ප්‍රාණඝාතාදි ක්‍රියා සිදු කරන්නා වූ ක්ලේශයන් ගේ අවස්ථා ව්‍යතික්‍ර‍මණාවස්ථාවය.

ශීල සමාධි ප්‍ර‍ඥා යන තුනෙහි ශීල ශික්ෂාවෙන් ක්ලේශයන් ගේ ව්‍යතික්‍ර‍මණ ප්‍ර‍හාණය කරනු ලැබේ. ලෞකික සමාධියෙන් ක්ලේශයන්ගේ පර්යුත්ථාන ප්‍ර‍හාණය කරනු ලැබේ. ලෞකික ප්‍ර‍ඥාවෙන් ක්ලේශයන් ගේ පර්යුත්ථාන ව්‍යතික්‍ර‍මණ දෙක ම ප්‍ර‍හාණය කරනු ලැබේ. ලෝකෝත්තර ශීල සමාධි ප්‍ර‍ඥා තුනෙන් ක්ලේශයන් ගේ අනුශය ප්‍ර‍හාණය කරනු ලැබේ. අනුශයප්‍ර‍හාණයට ලෞකික ශීලසමාධි ප්‍ර‍ඥාවෝ නො සමත් වෙති.

උපන් කුශල ධර්මයන් ගේ වැඩීම සිදු කළ යුත්තේ මෙසේ ය. ශීලයෙන් ක්ලේශයන්ගේ ව්‍යතික්‍ර‍මණ ප්‍ර‍හාණය කරනු ලැබේ යයි කීයේ වී නමුත් සෑම ශීලයක් ම සෑම ව්‍යතික්‍ර‍මණයක් ම ප්‍ර‍හාණය කිරීමට පොහොසත් නො වේ. මඳ ජලය මහත් වූ ගින්නට පැමිණ එය නිවීමට සමත් නො වී නැසෙන්නාක් මෙන්, දුබල වූ ශීලාධ්‍යාශය බලවත් ක්ලේශයා ගේ ව්‍යතික්‍ර‍මණය වළක්වන්නට සමත් නො වී ක්ලේශය නිසා එය ම නැසෙන්නේ ය. දුබල ශීලාධ්‍යාශය නසා බලවත් ක්ලේශය ව්‍යතික්‍ර‍මණාවස්ථාවට පැමිණේ. එයින් පුද්ගලයා දුශ්ශිල වේ. සිල් රැකීම නිසා වන පීඩාවලින් මේ “ශරීරයේ සමත් නහර ටිකත් ඇට ටිකත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා, ලේ මස් වියළී යතොත් වියළී යේවා, කුමක් සිදු වුවත් ශීලය නො බිඳිමි ය” යන බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත ශීලාධ්‍යාශය කෙලෙසුන්ට නො බිඳිය හැකි ය. නො පැරදවිය හැකි ය. ක්ලේශයන් විසින් නො පැරදවිය හැකි වන පරිදි ශීලාධ්‍යාශය බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත කර ගැනීම උපන් ශීලමය කුශලය වැඩීම ය.

බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත කරගත් ශීලය ක්ලේශයන්ට නො පැරදවිය හැකි වන්නේ ද රැකෙන්නේ ද එක් ජීවිත කාලයක් තුළදී පමණෙකි. භවාන්තරයෙහි එය නො රැකෙන්නේ ය. භවාන්තරයට ගිය කල ද නො බිඳී රැකෙන ශීලය ලෝකෝත්තර ශීලය ය. ශීලය එක් ජීවිත කාලයක් පවත්නා සැටියට සම්‍යක් ප්‍ර‍ධාන වීර්‍ය්‍යයෙන් යුක්ත කර ගැනීම් මාත්‍රයෙන් නො නැවතී ඒ ශීලය නිවනට පැමිණෙන තුරු, නො නස්නා ලෝකෝත්තර ශීලභාවයට පැමිණෙන තුරු වීර්‍ය්‍ය කළ යුතු ය. ලෞකික ශීලයෙහි පිහිටා ලෝකෝත්තර ශීලය ඇති කර ගැනීමට වීර්‍ය්‍ය කිරීම ද උපන් ශීලමය කුශලය වැඩීම ය.

සමාධිය ගේ පර්යුත්ථාන ප්‍ර‍හාණය කිය යුත්තේ ද ඒ ඒ සමාධියේ ශක්තිය අනුව ය. බලවත් ක්ලේශයෝ දුබල සමාධිය මැඩ දුබල සමාධිය නසා චිත්තසන්තානයට නැඟ එති. බලවත් ක්ලේශයන් ගේ පර්යුත්ථානය වැළැක්වීමට දුබල සමාධිය අපොහොසත් වෙයි. බලවත් ක්ලේශයන්ට ද නැඟ එන්නට නොදී සිටීමට සමත් වන්නේ සම්‍යක් ප්‍ර‍ධාන වීර්‍ය්‍යයෙන් යුක්ත වන සමාධිය ය බලවත් ක්ලේශයන්ට ද නො මැඩිය හැකි වන පරිදි සම්‍යක්ප්‍ර‍ධාන වීර්‍ය්‍යයෙන් යුක්ත කොට සමාධිය බලවත් කර ගැනීම ද, ලැබූ සමාධීන් වඩ වඩා උසස් බවට පමුණුවා ගැනීම ද, ලෝකෝත්තර සමාධියට පැමිණෙන තුරු සමාධිය ගෙන යාම ද, උපන් සමාධි කුශලය වැඩීම ය.

ප්‍ර‍ඥාවෙහි ද නොයෙක් ප්‍ර‍මාණ ඇත්තේ ය. දුර්වල ප්‍ර‍ඥාවගේ ආනුභාවය එයට ප්‍ර‍තිපක්ෂ ක්ලේශයන් විසින් නසා ඒ ක්ලේශයෝ පර්යුත්ථානයට ද ව්‍යතික්‍ර‍මණයට ද පැමිණෙති. බලවත් ක්ලේශයන්ට ද නො මැඬිය හැකි වන පරිදි ලෞකික ප්‍ර‍ඥාව දියුණු කිරීම ද, අනුශය ප්‍ර‍හාණයට සමත් වූ ලෝකෝත්තර ප්‍ර‍ඥාව ඇති වන තුරු ලෞකික ප්‍ර‍ඥාව දියුණු කිරීම ද, උපන් ප්‍ර‍ඥාමය කුශලය වැඩීම ය.

ප්‍ර‍ධානියාංග පඤ්චකය

කල් නො යවා ඵල දැකිය හැකි වන පරිදි මැනවින් සම්‍යක් ප්‍ර‍ධානයන් වැඩිය හැකි වන්නේ අංග පසකින් යුක්ත වන පුද්ගලයාට ය. ඒ අංග පස අංගුත්තර නිකායෙහි පඤ්චක නිපාත යෙහි මෙසේ වදාරා තිබේ.

  1. “පඤ්චිමානි භික්ඛවෙ, පධානියංගානි, කතමානි පඤ්ච? ඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති සද්දහති තථාගතස්ස බෝධිං ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝකවිදූ අනුත්තරො පුරිසධම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා” ති.
  2. අප්පාබාධො හොති අප්පාතංකො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො හොති නාතිසිතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය.
  3. අසඨො හොති අමායාවී යථාභූතං අත්තානං ආවිකත්තා සත්ථරි වා විඤ්ඤුසු වා සබ්‍ර‍හ්මචාරීසු.
  4. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහාණාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හ පරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
  5. පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සම්න්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඉමානි ඛො භික්ඛවෙ! පඤ්ච පධානියංගානි.”

එහි තේරුම මෙසේ ය :-

මහණෙනි, ප්‍ර‍ධානියාංගයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක් ද යත්?

  1. මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ “මේ කාරණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලෝකය දතුයෙක, අනුත්තර පුරිසදම්මසාරථි ය, දෙවි මිනිසුන්ට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය.” මෙසේ තථාගතයන් වහන්සේ ගේ බෝධිය (ධර්මාවබෝධය) විශ්වාස කෙරේ ද,
  2. රෝග නැත්තේ වේ ද, දුක් නැත්තේ වේද, ප්‍ර‍ධන් වීර්‍ය්‍යයට ඔරොත්තු දෙන ඉතා සිසිල් නො වූ ද ඉතා උෂ්ණ නො වූ ද සම සේ අහර පැසවන්නා වූ මධ්‍යම වූ පාචකාග්නිය (බඩගින්න) ඇත්තේ වේ ද,
  3. කෛරාටික නොවූ වරද නො සඟවන්නා වූ තමාගේ වරද ශාස්තෘන් වහන්සේ කෙරෙහි හෝ නුවණැත්තා වූ සබ්‍ර‍හ්මචාරීන් කෙරෙහි හෝ තත් වූ පරිදි ප්‍ර‍කාශ කරන්නා වූ තැනැත්තෙක් වේ ද,
  4. අකුසල ධර්මයන් ප්‍ර‍හාණය කිරීමෙහි හා කුශල ධර්මයන් වැඩීමෙහි නො හැකිළෙන, නො පසු බස්නා සිත් ඇත්තේ වේ ද, කුශල ධර්ම විෂයයෙහි වීර්‍ය්‍ය ඇත්තේ වේද, ස්ථිර පරාක්‍ර‍මය ඇත්තේ වේ ද, කුසල් කිරීම නමැති බර නො බහා තැබුයේ වේ ද,
  5. නුවණැත්තේ වේ ද, පරිශුද්ධ වූ කෙලෙස් නසන්නා වූ සංසාර දුඃඛය හා ක්ලේශ දුඃඛය නසමින් යන්නා වූ ස්කන්ධයන් ගේ ඉපදීම බිඳීම දෙක දන්නා ඥානය ඇත්තේ වේ ද, මහණෙනි, මොහු පස් දෙන ප්‍ර‍ධානියාංගයෝ ය.

ඉහත දක්වන ලදුයේ ප්‍ර‍ධානියාංග පස පාළියෙහි එන ක්‍ර‍මයට ය. එහි අදහස මෙසේ ය. සම්‍යක්ප්‍ර‍ධානයන් මැනවින් වැඩිය හැක්කේ අංග පසකින් යුක්ත තැනැත්තාට ය.

ඒ අංග පස නම් :-

  1. තථාගතයන් වහන්සේ ගේ බුදු බව හෙවත් සියල්ල දන්නා බව විශ්වාස කිරීම ය.
  2. ලෙඩ දුක් නැත්තා වූ ද, අධික බඩගින්න නැත්තා වූ ද, කවර ආහාරයක් වුවත් දිරවීමට සමත් බඩගින්න ඇත්තා වූ ද කෙනකු විය යුතු බව ය.
  3. කෛරාටික නො වූ තමා ගේ වරද තමා ගේ දුබලකම් ඇති සැටියට නො සඟවා ගුරුවරාදි කියයුත්තන්ට කියන බව ය.
  4. අකුශලයන් ප්‍ර‍හාණය කිරීම ගැන හා කුශලයන් ඇති කර ගැනීම ගැන නො හැකිළෙන නො පසු බසින අදහස ඇති බව ය.
  5. සංස්කාරයන්ගේ ඇති වීම් නැති වීම් දෙක දක්නා නුවණ ඇති බව ය යන මොවුහු ය.

කියන ලද අංග පසින් ම අඩුවක් නැති ව සම්පූර්ණ අය ලෝකයෙහි සුලභ නැත. එ බැවින් ඒ අංග පස සම්පූර්ණ කර ගෙන ම සම්‍යක් ප්‍ර‍ධාන වඩන්නට බලාපොරොත්තු නො විය යුතු ය. ඒ අංග පසින් සම්පූර්ණ නො වන අය විසින් සම්‍යක් ප්‍ර‍ධාන වැඩීමට පටන් නො ගත යුතු ය කියා නිගමනයක් නැත. ඒ කරුණු පස මෙහි දක්වන ලදුයේ හැකි පමණින් ඒ අංගයන් ඇති කර ගත යුතු බව දැක්වීමට ය. ඒ අංග පසින් පළමුවැන්න වූ බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසය සෑම යෝගාවචරයකු විසින් ම ඇති කර ගත යුතු ය. ඒ අංගයෙන් අසම්පූර්ණ තැනැත්තා හට බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ උත්සාහයක් ඇති නො වේ.

ඒ අංගය නැති අය විසින් එය සම්පූර්ණ කර ගැනීම සඳහා සැදැහැතියන් සේවනය කළ යුතු ය. සැදැහැතියන් ගෙන් දහම් ඇසිය යුතු ය. දහම් පොත් කියවිය යුතු ය. සැදැහැතියන් හා ධර්ම සාකච්ඡා කළ යුතු ය. ධර්මය විමසිය යුතු ය. තමහට අවිෂය කරුණු විමසන්නට යාමෙන් සමහර විට විචිකිච්ඡා තවත් වැඩි විය හැකි ය. එ බැවින් විමසීම පරෙස්සමෙන් කළ යුත්තක් බව ද දත යුතු ය. දෙවන අංගය වූ නිරෝග බව අතීත කර්මය හා ද සම්බන්ධ වූවකි. එ බැවින් ඇතැමෙක් නිරෝග වීම ගැන කිසි උත්සාහයක් නො කොට ම ද නිරෝගී ව වෙසෙති. ඇතැමෙක් කොතෙක් උත්සාහ කොට වුව ද එය නො ලබති. මනා පැවැත්ම ද ඒ අංගය කෙරෙහි බල පවත්වන එක් කරුණෙකි. රෝගාතුර වුව හොත් කිසිවක් කර ගත නො හැකි ය. එබැවින් නිරෝගී ව විසිය හැකි වීමට ශරීරයට අහිත ආහාර පානයන් ගෙන් ක්‍රියාවලින් වැළකිය යුතු ය. ශරීරයට හිත ක්‍රියාවන් කළ යුතු ය.

යම් කිසිවකුගේ අනුශාසනය පරිදි බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නා වූ තැනැත්තා විසින් ඒ අනුශාසකයා හට තමා ගේ දුබලකම් තමා ගේ වරදවල් නො සැඟවිය යුතු ය. රෝගය නො කියන රෝගියකුට වෛද්‍යවරයකු විසින් පිළියම් කළ නො හෙන්නාක් මෙන් තතු සඟවන අතවැසියකුට නිසි පරිදි ගුරුවරයකු විසින් කමටහන් නො දිය හැකි ය. සුදුසු පරිදි අනුශාසනා නො කළ හැකි ය. වෛද්‍යාචාර්‍ය්‍යවරයා ගෙන් සුදුසු ප්‍ර‍තිකාර නො ලබන රෝගියා නැසෙන්නාක් මෙන් තමා ගේ තතු සත්‍ය වශයෙන් හෙළි නො කරන යෝගාවචරයා ද පිරිහෙන්නේ ය. පස්වන අංගය වූ සංස්කාරයන් ඇති නැති වන සැටි දන්නා නුවණ ඇති කර ගැනීමට ධර්මය උගත යුතු ය. උගත් ධර්මය නැවත නැවත සිතමින් විමසිය යුතු ය. ධර්මසාකච්ඡා කළ යුතු ය. ධර්මය උගෙනීම ද සුදුසු ගුරුවරයකු ඇසුරු කොට කළ යුත්තකි.

ප්‍ර‍ධානයට නො කල් පස

සම්‍යක් ප්‍ර‍ධානයන් වැඩීමට නුසුදුසු කාල පසක් ද තථාගතයන් වහන්සේ විසින් අංගුත්තර නිකාය පඤ්චක නිපාතයෙහි වදාරා තිබේ. ඒ කාල පස ද යෝගාවචරයන් විසින් දැන ගත යුතු ය. ධර්මයෙහි හැසිරෙන තැනැත්තාට එයින් නපුරක් වන කාලයක් නම් නැත්තේ ය. මෙහි නො කාලය යි කියනුයේ ඕනෑකම ඇතත් උත්සාහය ඇතත් ඵල ලැබෙන සැටියට හොඳින් ඒ ක්‍රියා සිදු කළ නො හෙන කාලය ගැන ය. ඒ නො කාල හෙවත් අකාල දැන ගැනීමේ ප්‍රයෝජනය නම් සුදුසු කාලය හොඳ කාලය නො ඉක්මවීම ය. බොහෝ දෙනා හොඳ කාලය පස්කම් සුව විඳීමටත් පව්කම්වලටත් ගෙවා අකාලයේ දී දහම් මඟට බසිති. එයින් ඔවුහු දහම් මඟට බැසීමෙන් ලැබිය හැකි උසස් ඵල නො ලබති. නොකල් පස තථාගතයන් වහන්සේ වදාරා තිබෙන්නේ මෙසේ ය.

  1. “පඤ්චිමෙ භික්ඛවෙ, අසමයා පධානාය, කතමෙ පඤ්ච? ඉධ භික්ඛු ජින්නො හොති ජරාය අභිභූතො, අයං භික්ඛවෙ, පඨමො අසමයො පධානාය.
  2. පුනචපරං භික්ඛවෙ, භික්ඛු ව්‍යාධිතො හොති ව්‍යාධිනා අභිභූතො අයං භික්ඛවෙ දුතියො අසමයො පධානාය.
  3. පුනචපරං භික්ඛවෙ, දුබ්භික්ඛං හොති දුස්සස්සං දුල්ලභපිණ්ඩජ න සුකරං උඤ්ජේන පග්ගහෙන යාපෙතුං, අයං භික්ඛවෙ, තතියො අසමයො පධානාය.
  4. පුනචපරං භික්ඛවෙ, භයං හොති අටවිසංකොපො චක්කසමාරූළ්හා ජානපදා පරියායන්ති, අයං භික්ඛවෙ, චතුත්ථො අසමයො පධානාය.
  5. පුනචපරං භික්ඛවෙ, සංඝො භින්නො හොති, සංඝො ඛො පන භින්නෙ අඤ්ඤමඤ්ඤං අක්කොසා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිහාසා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිච්චජනා ච හොන්ති. තත්ථ අප්පසන්නා චෙව නප්පසීදන්ති, පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්ථං හොති, අයං ඛො භික්ඛවෙ, පඤ්චමො අසමයො පධානාය, ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච අසමයා පධානායාති.”

වයස් ගත වී ජරාවට පැමිණි කාලය ය, රෝගාතුර වූ කාලය ය, දුර්භික්ෂ කාලය ය, යුද්ධාදියෙන් රට කැළඹුණු කාලය ය, සංඝයා භේද වී සිටින කාලය ය, යන කාල පස ප්‍ර‍ධානයට නුසුදුසු කාල බව ඒ සූත්‍රයෙන් දැක්වේ. ඇතැම්හු තරුණ කාලය ලෞකික වැඩවලට මිස ලෝකෝත්තර පක්ෂයේ වැඩවලට නුසුදුසුය යි වරදවා තේරුම් ගෙන ධර්මචර්‍ය්‍යාවට මහලු වන තෙක් බලා සිටිති. එය වැරදි අදහසක් බව කියන ලද සූත්‍රයෙන් දත යුතු ය. ශරීර ශක්තිය ඇති නිරෝගී බව ඇති හොඳ කාලය තිරිසනුන් පවා ලබන පස්කම් සැපයට ම කැප නො කොට දුර්ලභ වූ සම්බුද්ධ ශාසනයෙන් හා මනුෂ්‍යාත්ම භාවයෙන් ගත හැකි උසස් දේ ලැබීමට තමන් ගේ කාලය යෙදවිය යුතු බව සලකත්වා!

අනාගත භය පසක්

බුදු සස්නෙන් ලබා ගත යුතු ඉතා උසස් දේවල් වූ ධ්‍යාන මාර්ග ඵලයන් ගෙන් එකකුදු ලබා සිටින අය මෙකල ඉතා දුර්ලභ බව කවුරුත් දන්නා කරුණෙකි. ලබා සිටින අය තබා ඒවා සොයන, ඒවා ලැබීමට උත්සාහ කරන අය ද මෙකල සුලභ නැත. එයට හේතුව කුමක් ද යන බව විශේෂයෙන් යෝගාවචරයන් විසින් දැන ගත යුතු ය. බුදුසසුනට ගරු කරන බුදු සස්නෙහි දියුණුව පතන සැම දෙනා විසින් ම එය දත යුතු ය. එ බැවින් එය ද මෙහි දක්වනු ලැබේ. ඒ කාරණය බුදුරජාණන් වහන්සේ විසින් කලින් ම වදාළ සේක.

ඒ මෙසේ ය:-

පඤ්චිමානි භික්ඛවෙ, අනාගතභයානි එතරහි අසමුප්පන්නානි ආයතිං සමුප්පජ්ජිස්සන්ති, තානි වො පටිබුජ්ඣිතබ්බානි, පරිබුජ්ඣිත්වා ච තෙසං පහානාය වායමිතබ්බං, කතමානි පඤ්ච?”

මහණෙනි, මෙකල්හි නො හට ගත්තා වූ අනාගත භය පසක් (මේ සස්නෙහි) මතු කාලයේ දී ඇති වන්නේ ය. ඒවා තොප විසින් තේරුම් ගත යුතු ය. තේරුම් ගෙන ඒවා දුරු කිරීමට උත්සාහ කළ යුතු ය. ඒ භය පස කවරේ ද?

“භවිස්සන්ති භික්ඛවෙ, භික්ඛු අනාගතමද්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා අඤ්ඤෙ උපසම්පාදෙස්සන්ති, තෙ න සක්ඛිස්සන්ති විනෙතුං අධිසීලෙ අධිචිත්තෙ අධිපඤ්ඤාය, තෙපි භවිස්සන්ති අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා අඤ්ඤෙ උපසම්පාදෙන්ති, තෙපි න සක්ඛිස්සන්ති විනෙතුං අධිසීලෙ අධිවිත්තෙ අධිපඤ්ඤාය, තෙ පි භවිස්සන්ති අභාවිතකායා අභාවිතසීලා අභාවිතපඤ්ඤා. ඉති ඛො භික්ඛවෙ, ධම්මසන්දොසා විනයසන්දොසො විනයසන්දොසා ධම්මසන්දොසො, ඉදං භික්ඛවෙ, පඨමං අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සති, තං වො පටිබුජ්ඣිතබ්බං පටිබුජ්ඣිත්වා චස්ස පහානාය වායමිතබ්බං.

තේරුම :-

මහණෙනි, අනාගත කාලයෙහි කායභාවනා නැත්තා වූ සීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥා භාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඔවුහු අන්‍යයන් උපසම්පදා කරන්නාහු ය. ඔවුහු (තමන්ගේ ඒ ගෝලයන්) අධිශීලයෙහි අධිචිත්තයෙහි අධි ප්‍ර‍ඥාවෙහි පිහිටවන්නට නො සමත් වන්නාහ. (එ බැවින්) ඒ ගෝලයෝ ද කායභාවනා ශීලභාවනා චිත්තභාවනා ප්‍ර‍ඥාභාවනා නැත්තෝ වන්නාහ. කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඔවුහු අන්‍යයන් උපසම්පදා කරන්නා හ. ඔවුහු ද (ඒ ගෝලයන්) අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍ර‍ඥාවෙහි පිහිටවීමට නො සමත් වන්නා හ. (එ බැවින්) ඔවුහු ද කායභාවනා ශීලභාවනා චිත්තභාවනා ප්‍ර‍ඥා භාවනා නැත්තෝ වන්නා හ. මහණෙනි! මෙසේ (ශමථ විදර්ශනා සංඛ්‍යාත) ධර්මය නැසීමෙන් විනයයාගේ නැස්ම වේ. විනය නැසීමෙන් ධර්‍මයේ නැස්ම වේ. මහණෙනි, මෙය දැනට නො හට ගත්තා වූ මතු කාලයෙහි ඇති වන්නා වූ පළමුවන අනාගත භය ය. එය තොප විසින් තේරුම් ගත යුතු ය. තේරුම් ගෙන එය ප්‍ර‍හාණය පිණිස උත්සාහ කළ යුතු ය.

“පුනචපරං භික්ඛවෙ, භවිස්සන්ති භික්ඛු අනාගතමද්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා අඤ්ඤෙසං නිස්සං දස්සන්ති. තෙපි න සක්ඛිස්සන්ති විනෙතුං අධිසීලෙ අධිචිත්තෙ අධිපඤ්ඤාය තෙ පි භවිස්සන්ති අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා, තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා අඤ්ඤෙසං නිස්සං දස්සන්ති, තෙ පි න සක්ඛිස්සන්ති විනෙතුං අධිසීලෙ අධිචිත්තෙ අධිපඤ්ඤාය, තෙ පි භවිස්සන්ති අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා. ඉති ඛො භික්ඛවෙ, ධම්මසන්දොසා විනය සන්දොසො, විනයසන්දොසා ධම්මසන්දොසො, ඉදං භික්ඛවෙ, දුතියං අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සන්ති, තං වො පටිබුජ්ඣිතබ්බං පධිබුජ්ඣිත්වා චස්ස පහානාය වායමිතබ්බං.”

තේරුම :-

නැවත අනිකක් කියනු ලැබේ. මහණෙනි, අනාගත කාලයෙහි කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඔවුහු අන්‍යයන්ට නිස දෙන්නාහ. ඔවුහු (ඒ ගෝලයන්) අධිශීලයෙහි අධිචිත්තයෙහි අධි ප්‍ර‍ඥාවෙහි පිහිට වන්නට නො සමත් වන්නාහ. ඔවුහු ද කායභාවනා ශීලභාවනා චිත්තභාවනා ප්‍ර‍ඥාභාවනා නැත්තෝ වන්නාහ. කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඔවුහු අන්‍යයන්ට නිස දෙන්නාහ. ඔවුහු (ඒ ගෝලයන්) අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍ර‍ඥාවෙහි පිහිට වන්නට නො සමත් වන්නාහ. ඔවුහු ද කායභාවනා ශීලභාවනා චිත්තභාවනා ප්‍ර‍ඥාභාවනා නැත්තෝ වන්නාහ. මහණෙනි, මෙසේ (ශමථ විදර්ශනා සංඛ්‍යාත) ධර්මය නැසීමෙන් විනය නස්නේ ය. විනය නැසීමෙන් ධර්මය නස්නේ ය. මහණෙනි, මේ දැනට නො පහළ වූ මතු කාලයෙහි පහළ වන්නා වූ දෙවන අනාගත භය ය, එය තොප විසින් තේරුම් ගත යුතු ය. තේරුම් ගෙන එය ප්‍ර‍හාණය පිණිස වීර්‍ය්‍ය කළ යුතු ය.

“පුනචපරං භික්ඛවෙ, භවිස්සන්ති භික්ඛුඅනාගතමද්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා, තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා අභිධම්මකථං වෙදල්ලකථං කථෙන්තා කණ්හං ධම්මං ඔක්කමානා න පටිබුජ්ඣිස්සන්ති. ඉති ඛො භික්ඛවෙ ධම්මසන්දොසා විනයසන්දොසො, විනයසන්දොසා ධම්ම සන්දොසො, ඉදං භික්ඛවෙ, තතියං අනාගතභයං තරහි අසමුප්පන්නා ආයතිං සමුප්පජ්ජිස්සති, තං වො පටිබුජ්ඣිතබ්බං. පටිබුජ්ඣිත්වා චස්ස පහානාය වායමිතබ්බං.”

තේරුම :-

නැවත අනෙකක් කියනු ලැබේ. මහණෙනි, අනාගත කාලයෙහි කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඒ භික්ෂූහු අභිධර්මකථා වේදල්ලකථා කියන කල්හි (අනුන්ගේ ගුණවල සිදුරු දැක්වීම්, අනුන්ට නිග්‍ර‍හ කිරීම් ආදි වශයෙන්) පාපයට බැස සිටීමෙන් ධර්මය තේරුම නො ගනිති. මහණෙනි, මෙසේ ශමථවිදර්ශනා සංඛ්‍යාත ධර්මය නැසීමෙන් විනය නැසීම ද විනය නැසීමෙන් ධර්මය නැසීම ද වේ. මහණෙනි, දැනට නො පහළ වූ මේ තුන්වන අනාගත භය මතු පහළ වන්නේ ය. මහණෙනි, එය තොප විසින් තේරුම් ගත යුතු ය. තේරුම් ගෙන එය ප්‍ර‍හාණය කිරීමට උත්සාහ කළ යුතු ය.

“පුනචපරං භික්ඛවෙ, භවිස්සන්ති භික්ඛු අනාගතමද්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා, තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්තා ලෝකුත්තරා සුඤ්ඤතා පටිසංයුත්තා, තෙසු භඤ්ඤමානෙසු න සුස්සූසන්ති, න සොතං ඔදහිස්සන්ති, න අඤ්ඤාය චිත්තං උපට්ඨපෙස්සන්ති, න ච තෙ ධම්මේ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති, යෙ පන තෙ සුත්තන්තා කවිකතා කාවෙය්‍යා චිත්තක්කරා චිත්තබ්‍යඤ්ජනා බාහිරකා සාවකා භාසිතා, තෙසු භඤ්ඤමානෙසු සුස්සූසන්ති, සො තං ඔදහිස්න්ති, අඤ්ඤාය චිත්තං උපට්ඨපෙස්සන්ති, තෙ ච ධම්මේ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති ඉති ඛො භික්ඛවෙ! ධම්මසන්දොසා, විනය සන්දොසො, විනයසන්දොසා ධම්මසන්දොසො, ඉදං භික්ඛවෙ! චතුත්ථ අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සති, තං වො පටිබුජ්ඣිතබ්බං. පටිබුජ්ඣිත්වා තස්ස ච පහානාය වායමිතබ්බං”

තේරුම :-

නැවත අනෙකක් කියනු ලැබේ. මහණෙනි, අනාගත කාලයෙහි කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. කායභාවනා නැත්තා වූ ශීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඒ භික්ෂූහු තථාගත භාෂිත වූ ගැඹුරු වූ අරුත් ඇත්තා වූ ලෝකෝත්තර ධර්මයන් දක්වන්නා වූ ස්කන්ධාදිධර්ම පිළිබඳ වූ යම් ඒ ධර්මයෝ වෙත් ද ඒ ධර්මයන් කියන කල්හි නො අසන්නාහ. ඒවාට කන් නො දෙන්නාහ. ඒවා තේරුම් ගැනීමට නො සිතන්නාහ. ඒ ධර්මයන් උගත යුතු භාවිතා කළ යුතු දේ වශයෙන් නො සලකන්නාහ. පද්‍යබන්ධනාදි වශයෙන් කවීන් විසින් සම්පාදනය කරන ලද්දා වූ චිත්‍රාක්ෂර චිත්‍ර‍බ්‍යඤ්ජන ඇත්තා වූ ශාසනයෙන් බැහැර වූ බාහිර ශ්‍රාවකයන් විසින් කරන ලද්දා වූ යම් ඒ සූත්‍රයෝ වෙත් ද ඒවා කියන කල්හි මැනවින් අසන්නාහ. ඒවාට කන් දෙන්නා හ. ඒවා දැන ගැනීමට සිතන්නාහ. ඒවා උගත යුතු භාවිත කළ යුතු දේ සැටියට සලකන්නාහ. මහණෙනි, මෙසේ ධර්මය නැසීමෙන් විනය නස්නේ ය. විනය නැසීමෙන් ධර්මය නස්නේ ය. මහණෙනි, දැනට නැත්තා වූ මේ සතර වන භය අනාගතයෙහි ඇති වන්නේ ය. එය තොප විසින් තේරුම් ගත යුතු ය. තේරුම් ගෙන එය ප්‍ර‍හාණය පිණිස උත්සාහ කළ යුතු ය.

“පුනචපරං භික්ඛවෙ, භවිස්සන්ති භික්ඛු අනාගතමද්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා, තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා ථෙරා භික්ඛු බාහුලිකා භවිස්සන්ති සාථලිකා ඔක්කමනෙ පුබ්බංගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා න විරියං ආරභිස්සන්ති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියා ය. ඉති ඛො භික්ඛවෙ ධම්මසන්දොසා විනය සන්දොසො විනයසන්දොසා ධම්මසන්දොසො, ඉදං භික්ඛවෙ පඤ්චමං අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සන්ති. තං වො පටිබුජ්ඣිතබ්බං පටිබුජ්ඣිත්වා චස්ස පහානාය වායමිතබ්බං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච අනාගත භයානි එතරහි අසමුප්පන්නානි ආයතිං සමුප්පජ්ජිස්සන්ති, තානි වො පටිබුජ්ඣිතබ්බානි, පටිබුජ්ඣිත්වා තෙසං පහානාය වායමිතබ්බන්ති.”

තේරුම :-

නැවත අනෙකක් කියනු ලැබේ. මහණෙනි, අනාගත කාලයෙහි කායභාවනා නැත්තා වූ සීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. කායභාවනා නැත්තා වූ සීලභාවනා නැත්තා වූ චිත්තභාවනා නැත්තා වූ ප්‍ර‍ඥාභාවනා නැත්තා වූ ඒ ස්ථවිර භික්ෂූහු චීවරාදි ප්‍ර‍ත්‍යයයන් වැඩි කර ගැනීම පිණිස පිළිපදින්නෝ වන්නාහ. ශාසනය ලිහිල් කොට ගන්නෝ වන්නාහ. නීවරණ වැඩීමෙහි පෙරටුව ගමන් කරන්නෝ වන්නාහ. විවේකය ගැන හළ බලාපොරොත්තු ඇත්තෝ වන්නාහ. නො පැමිණියා වූ ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන්ට පැමිණීමට නො ලැබූ ධ්‍යානාදිය ලැබීමට ප්‍ර‍ත්‍යක්ෂ නො කළ දෑ ප්‍ර‍ත්‍යක්ෂ කිරීමට වීර්‍ය්‍ය නො කරන්නාහ. මහණෙනි, මෙසේ ධර්මය නැසීමෙන් විනයේ නැසීම වේ. විනය නැසීමෙන් ධර්මයේ නැසීම වේ. මහණෙනි, දැනට නො පහළ වූ මේ පස්වන අනාගත භය මතු කාලයේ දී පහළ වන්නේ ය. මහණෙනි, එය තොප විසින් දැන ගත යුතු ය. දැනගෙන එය ප්‍ර‍හාණය කිරීමට උත්සාහ කළ යුතු ය.

මහණෙනි, දැනට නො හට ගත්තා වූ මේ අනාගත භය පස මතු කාලයේ දී ඇති වන්නාහ. තොප ඒවා තේරුම් ගත යුතු ය. තේරුම් ගෙන ඒවා ප්‍ර‍හාණය කිරීම පිණිස උත්සාහ කළ යුතු ය.

මෙහි කායභාවනා යන කය පිළිබඳ වූ විදර්ශනාව ය. සීලභාවනා යනු සිල් පිරිසිදු කිරීම ය. චිත්තභාවනා යනු සමාධි භාවනාව ය. ප්‍ර‍ඥා භාවනා යනු විදර්ශනා වැඩීම ය.

සම්‍යක් ප්‍ර‍ධාන විස්තරය නිමි.

සෘද්ධිපාද සතර

චත්තාරො ඉද්ධිපාදා, ඡන්දිද්ධිපාදො, විරියිද්ධිපාදො චිත්තිද්ධිපාදො විමංසිද්ධිපාදො.

ඡන්දිද්ධිපාදය විරියිද්ධිපාදය චිත්තිද්ධිපාදය වීමංසිද්ධිපාදය යි සෘද්ධිපාද ධර්ම සතරෙකි.

සෘද්ධි යනු යම් කිසිවක සිදු වීම ය. ඒ ඒ දෙය සිදුකළ හැකි ශක්තියට සෘද්ධි යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. ගස් හා වැල් උපන් තැනින් අන් තැනකට නො ගොස් එ තැනම කලක් ජීවත් වී මැරෙයි. සත්ත්වයෝ උන් තැන ම නො සිට තැනින් තැනට යති. ඔවුන් ගේ ඒ යාම සෘද්ධියෙකි. ඇතැම් සත්ත්ව කෙනෙක් තමන් අවට ඇති දෑ නො දකිති. ඇතැම් සත්ත්වයෝ දකිති. ඔවුන් ගේ ඒ දැකීම ද එක් සෘද්ධියෙකි. ඇතැම් සත්ත්වයෝ කිසි හඬක් නො අසති. ඇතැම්හු අසති. ඔවුන් ගේ ඒ ඇසීමත් එක් සෘද්ධියෙකි. බොහෝ සත්ත්වයෝ කථා කිරීමේ මාර්ගයෙන් තමන්ගේ අදහස් අන්‍යයන්ට දැන්වීමට නො සමත් වෙති. මනුෂ්‍යයෝ එය කරති. මනුෂ්‍යයන්ගේ ඒ කථා කිරීම ද එක් සෘද්ධියෙකි.

මෙසේ ලෝකයේ බොහෝ සෘද්ධීහු ඇත්තාහ. එහෙත් ඒ සිය්ලල ම ලෝකයා විසින් සෘද්ධි වශයෙන් සලකනු නො ලැබේ. ලෝකයා සෘද්ධි වශයෙන් සලකනු ලබනුයේ චිත්ත බලයෙන් අහසින් යාම, දිය සුළං ආදිය ඇති කිරීම, නො පෙනී සිටීම, ඇසට නො පෙනෙන දෑ දැකීම, අනුන්ගේ අදහස් දැනීම යනාදි සැම දෙනාට සිදු කළ නො හෙන ඉතා ටික දෙනකුට පමණක් සිදු කළ හැකි සිදු කිරීමට අපහසු සිදුවීම් ය.

මේ සෘද්ධිපාද කථාවෙහි සෘද්ධි වශයෙන් ගනු ලබන්නේ ද සැම දෙනාට ම සිදු කළ නො හෙන සිද්ධීන් ම ය.

සසර දුකින් මිදීම සඳහා ඇති කර ගත යුතු වූ දුකින් මිදීමට පිහිට වන්නා බුදු සස්නෙහි, යෝගාවචරයන් විසින් බලාපොරොත්තු වන්නා වූ ද බලාපොරොත්තු විය යුතු වූ ද ශාසනික සෘද්ධි පසක් ඇත්තේ ය. සෘද්ධිපාද ධර්මයන් වැඩිය යුත්තේ ඒ සෘද්ධීන් ලබනු සඳහා ය.

ඒ සෘද්ධි පස :-

  1. අභිඤ්ඤෙය්‍යෙසු ධම්මේසු අභිඤ්ඤ සිද්ධි
  2. පරිඤ්ඤය්‍යෙසු ධම්මෙසු පරිඤ්ඤ සිද්ධි
  3. පහාතබ්බෙසු ධම්මෙසු පහාන සිද්ධි
  4. සච්ඡිකාතබ්බෙසු ධම්මෙසු සච්ඡිකිරියා සිද්ධි
  5. භාවෙතබ්බෙසු ධම්මෙසු භාවනා සිද්ධි

යනුවෙන් දක්වා තිබේ.

චිත්ත චෛතසික රූප නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් මෙතෙක් මෙතෙක් ය යි විභාග වශයෙන් හා ලක්ෂණ වශයෙන් ද පවත්නා ආකාරයාගේ වශයෙන් ද නිවැරදි ලෙස දැන ගැනීම “අභිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු අභිඤ්ඤ සිද්ධි” යනුවෙන් දැක්වෙන පළමු වන සෘද්ධිය ය. සන්තති ඝනය, සමූහ ඝනය, කෘත්‍ය ඝනය, ආරම්මණ ඝනය යන ඝණ සතරින් වැසී තිබෙන්නා වූ නාමරූපයෝ ධර්ම වශයෙන් නො ව සත්ත්ව පුද්ගලාදි වශයෙන් ම පෙනී සිටිති. එ බැවින් ඒවාට ලෝකයා රැවටෙති. ඒවායේ තතු නො වරදවා දැන ගැනීම ඉතා දුෂ්කරය. ඒවා හෙළි වන්නේ ලෝකයෙහි බුදුවරයන් පහළ වන කාලවලදී පමණෙකි. බුදු සස්නෙන් මිස ඉන් පිටත කොතැනකින්වත් කවර ආගමකින්වත් කවර දර්ශනයකින්වත් කවර විද්‍යාවකින් වත් ඒවා දැන ගත නො හැකිය.

දැන ගැනීමට දුෂ්කර වූ ද, දැන ගැනීමට දුර්ලභ වූ ද, ඒ පරමාර්ථ ධර්මඥානය එක්තරා සෘද්ධියකි. ඒ සෘද්ධිය විදර්ශනා කරන යෝගාවචරයන් විසින් පළමු කොට ම ලබා ගත යුතු ය. විදර්ශනාවට බිම වන්නේ ඒ සෘද්ධිය ය. ඒ සෘද්ධිය නමැති භූමියෙහි පිහිටා ම විදර්ශනා කළ යුතු ය. විදර්ශනාවෙන් ලැබිය හැකි නියම ඵලය ලැබිය හැකි වන්නේ ඒ සෘද්ධියෙහි පිහිටා විදර්ශනා වඩන යෝගාවචරයන්ට ය. අභිධර්මපිටකය හැදෑරීමෙන් ඒ සෘද්ධිය ලැබිය හැකි ය. අභිධර්මාර්ථ සංග්‍ර‍හය හෝ එවැනි අන්‍ය ග්‍ර‍න්ථයක් හෝ මැනවින් උගෙනීමෙන් ද යෝගාවචරයකුට ප්‍ර‍මාණවත් වන පරිදි ඒ සෘද්ධිය ඇති කර ගත හැකි ය.

දුඃඛ්‍යර්‍ය්‍යසත්‍යයට අයත් රූපාරූප ධර්මයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ හා අනිත්‍ය - දුඃඛ - අනාත්ම යන සාධාරණ ලක්ෂණයන් ද පිරිසිඳ දැන ගැනීම “පරිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු පරිඤ්ඤා සිද්ධි” යනුවෙන් දැක්වෙන දෙවන සෘද්ධිය ය.

සමුදයාර්‍ය්‍යසත්‍ය සංඛ්‍යාත තෘෂ්ණාව හා අවශේෂ ක්ලේශයන් ගේ ද ප්‍ර‍හාණය “පහාතබ්බේසු ධම්මෙසු පහාන සිද්ධි” යනුවෙන් දැක්වෙන තුන්වන සෘද්ධිය ය.

තමන්ගේ සන්තානයෙහි අනුශය වශයෙන් පවත්නා වූ තෘෂ්ණාවන්ගේ හා අවශේෂ ක්ලේශයන් ගේ ද මතු කිසි කලෙක නූපදනා පරිද්දෙන් වන නිරෝධය වූ ලෝකෝත්තර නිර්වාණධාතුව ස්වකීය ඥානයෙන් ප්‍ර‍ත්‍යක්ෂ කිරීම “සච්ඡිකාතබ්බෙසු ධම්මෙසු සච්ඡිකිරියා සිද්ධි” යනුවෙන් දැක්වෙන සෘද්ධිය ය.

ලෝකෝත්තර මාග සත්‍ය භාවයට පැමිණෙන තුරු ශීල සමාධි ප්‍ර‍ඥා සංඛ්‍යාත ශික්ෂාත්‍ර‍ය දියුණු කිරීම “භාවෙතබ්බෙසු ධම්මේසු භාවනා සිද්ධි” යනුවෙන් දැක්වෙන සෘද්ධිය ය. ලෝකෝත්තර මාර්ගය පහළ වීම ඒ සෘද්ධිය සම්පූර්ණ වීම ය. සෝවාන් වීම ය, සකෘදාගාමි වීම ය, අනාගාමි වීම ය. රහත් වීම ය යි කියනුයේ ද ඒ සෘද්ධියට ම ය. එය විශුද්ධි ක්‍ර‍මයෙන් ද කිය හැකි ය. චතුපාරිශුද්ධි සීලය එක් සෘද්ධියකි. පරිකර්ම සමාධි උපචාර සමාධි සහිත වූ රූපාරූප ධ්‍යානයන් ගේ ප්‍ර‍තිලාභය එක් සෘද්ධියකි. ධ්‍යානයන් වඩා දියුණු කිරීමෙන් ඇති කර ගන්නා වූ සෘද්ධිවිධාදි ලෞකික අභිඥා පස සෘද්ධි පසෙකි. නාමරූප ධර්මයන් තත්ත්වාකාරයෙන් හැඳින ගෙන දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම එක් සෘද්ධියකි.

සංස්කාරයන් ගේ හේතූන් තත්ත්වාකාරයෙන් දැන ගෙන ආත්මයක් ඇත ද නැත ද රූපාදිය ආත්මය ද නො වේ ද යනාදීන් පවත්නා වූ සැකයන් දුරු කර ගැනීම නිසැකව ආත්මයක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැති බව දැන ගැනීම එක් සෘද්ධියකි. සැක දුරු කර ගෙන විදර්ශනා කරන තැනැත්තා හට ඕභාසාදි උපක්ලේශයන් ඇති වූ කල්හි ඇති කර ගත යුතු වූ වැරදි මඟ හා නිවැරදි මඟ වෙන් කර ගත හැකි නුවණ එක් සෘද්ධියකි. උදයව්‍යය ඥානාදි විදර්ශනා ඥාන නවය සෘද්ධි නවයකි. ලෝකෝත්තර මාර්ග ඥාන සතර සෘද්ධි සතරෙකි. මේ සියල්ල ශාසනික සෘද්ධීහු ය.

කියන ලද ශාසනික සෘද්ධීන්ට පැමිණීම, ඒ සෘද්ධීන් ලැබීම අති දුෂ්කර ය. සත්ත්වයන් නිවනයට නො පැමිණ සසර සයුරේ ම ගිලී දුක් විඳින්නේ ඒ නිසා ය. සිදු කිරීමට ඉතා දුෂ්කර දෑ අනෙකක උපකාරයෙන් සිදු කළ හැකි ය. මිනිසකුට සමුද්‍ර තරණය ඉතා දුෂ්කර ය. එහෙත් නැවක උපකාරයෙන් එය කළ හැකි ය. මිනිසාට අහසින් යාම ඉතා දුෂ්කර දෙයකි. එහෙත් අහස් යානයක උපකාරයෙන් එය සිදු කළ හැකි ය. සමුද්‍ර‍තරණාදියට උපකාර වන නැව් ආදිය සේ පැමිණීමට - ලැබීමට උපකාර වූ සෘද්ධීන්ට පැමිණීමට - ලැබීමට උපකාර වන ධර්මයෝ ඇතහ. ඒවා ඇති කර ගෙන ඒවායේ ආධාරයෙන් ඒ සෘද්ධි ලැබිය හැකි ය. සෘද්ධිපාදයෝ යයි කියනු ලබනුයේ ඒ සෘද්ධීන්ට පැමිණීමට උපකාරක ධර්මයන්ට ය. යම් ධර්ම කෙනකුන් ගේ බලයෙන් උපකාරයෙන් සෘද්ධිය ලබා ද ඒ ධර්මයෝ සෘද්ධිපාද නම් වෙති. සෘද්ධිපාද සතර ඉහත දක්වන ලදි.

ඡන්දිද්ධිපාද යන මෙහි ඡන්ද යනු යම් කිසිවකට කැමැත්ත ය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් යම් කිසිවකට ආශාව ය. සාමාන්‍යයෙන් ඡන්දය එකක් වුව ද එය ශක්තීන් ගේ ප්‍ර‍මාණයෙන් අනේකාකර වේ. ලැබීමට දුෂ්කර වූ සිදු කිරීමට දුෂ්කර වූ යම් කිසිවක් පිළිබඳව ඇති වන ඡන්දයෝ බොහෝ සෙයින් ඒ බලාපොරොත්තු වූ දෙය නො ලබා ම සිදු නො කොට ම සන්සිදෙති. සන්සිඳීම ය යනු බලාපොරොත්තුව නැති වී යාම ය. එබඳු ඡන්දයෝ දුබල ඡන්දයෝ ය. ලබා ගැනීමට අතිශයින් දුෂ්කර වූ ඉහත කී ශාසනික සෘද්ධීහු එබඳු ඡන්දයකින් ලැබිය හැකි නො වෙති. ඒවා ලැබීමට කොතෙක් කල් ගත වුව ද, කොතෙක් වෙහෙසෙන්නට සිදු වුව ද, කොතෙක් සැප අත් හරින්නට වුව ද, කොතෙක් දුක් ගන්නට වුව ද සෘද්ධිය නො ලබන තුරු නො සන්සිදෙන බලවත් ඡන්දයක් තිබිය යුතු ය. ඡන්දිද්ධිපාදය යි කියනුයේ එබඳු බලවත් ඡන්දයට ය.

විරියිද්ධිපාද යනු ඉහත සම්‍යක්ප්‍ර‍ධාන කථාවෙහි දැක්වුණු වීර්‍ය්‍යය ම ය.

චිත්තිද්ධිපාද යනු සෘද්ධිය ලැබෙන තුරු අනෙකකට නො නැමෙන අතිශයින් සෘද්ධියට නැමුණා වූ සිත ය. සෘද්ධින් ගේ අනුසස් ශ්‍ර‍වණය කළ කල්හි බොහෝ දෙනා ගේ සිත සෘද්ධියට නැමේ. මා විසින් ද ඒ සෘද්ධිය ලබා ගත හොත් මැනවැයි බොහෝ දෙනා සිතති. එහෙත් ඒ සෘද්ධිය ලබන්නට පෙර ම ඔවුන්ගේ සිත් නැවත කාමයන්ට නැමේ. සෘද්ධිය ඔවුනට අමතක වෙයි. එසේ ලබන්නට මත්තෙන් කාමයන්ට නැමී බර වී සෘද්ධිය අමතක වන්නා වූ දුබල සිත චිත්තිද්ධිපාදය නො වේ.

විමංසිද්ධිපාදය යනු අපාය දුඃඛයා ගේ භයානකත්වය විශාලත්වය දක්නා වූ ද, සංසාරදුඃඛයා ගේ විශාලත්වය දක්නා වූ ද, සෘද්ධියෙහි අනුසස් දක්නා වූ ද, ස්කන්ධාදි ගම්භීර ධර්මයන්හි හැසිරීමට සමර්ථ වූ ද ඥානය ය.

සෘද්ධිපාදයන් ගෙන් එකකුදු ඇති තැනැත්තා මේ භවයෙහි හෝ අනන්තර භවයෙහි හෝ මේ බුදුසස්නෙහි ම මගපල ලබන්නේ ය. දෙකක් හෝ තුනක් හෝ සතර ම හෝ ඇති තැනැත්තා ගැන කියනු ම කිම? සෘද්ධිපාද නැතියෝ මෙකල උත්සාහ කළත් මඟපල නො ලැබිය හැකි ය කියා හෝ අපට සුදුසු තැන් නැත, සුදුසු උපස්ථායකයන් නැත, සුදුසු ගුරුවරු නැත, අවකාශ නැත, සනීප නැත යනාදීන් නොයෙක් දේ සිතමින් පසු බසිති. ඔවුහු සෘද්ධිපාද ධර්ම ඇති කර ගන්නා තුරු කිසි කලෙක මඟපල නො ලබති. එක් සෘද්ධිපාදයක් වුව ද ඇති කර ගත හොත් එයින් හේ මඟපල ලබා නිවන් දක්නේ ය. සෘද්ධිපාදයන්ගෙන්, ඇතැමෙක් ඡන්දිද්ධිපාදය ලබා එයින් මඟපල ලබා නිවන් දකිති. ඇතැමෙක් විරියිද්ධිපාදයෙන් ද ඇතැමෙක් චිත්තිද්ධිපාදයෙන් ද ඇතැමෙක් වීමංසිද්ධිපාදයෙන් ද මඟපල ලබති.

රට්ඨපාල මහරහතන් වහන්සේ ඡන්දිද්ධිපාදය පිහිට කොට රහත් වූ සේක. උන් වහන්සේගේ චරිතය සැකෙවින් මෙසේ ය. කුරුරට ථුල්ලකොට්ඨික නම් නියම්ගම විසූ මහාසිටුවරයකුට රට්ඨපාල නම් වූ එකම පුත්‍රයෙක් විය. බුදුරජාණන් වහන්සේ ථුල්ලකොට්ඨික ගමට වැඩ දහම් දෙසූ කල්හි එය අසා රට්ඨපාලයන්ට පැවිදි වීමේ බලවත් කැමැත්ත ඇති විය. හේ මවුපියන් කරා ගොස් පැවිදි වීමට අවසර ඉල්ලීය. තමන් සතු මහා ධනස්කන්ධය හිමි කරවීමට ඇත්තේ එක ම දරුවා බැවින් මවුපියෝ ඔහුට අවසර නුදුන් හ. එහෙත් රට්ඨපාලයන්ගේ ඡන්දය නො සන්සිඳිණ. හේ ‘පැවිදි වන්නට අවසර නො ලැබෙතහොත් මෙ තැන ම නොකා නොබී සිට මිය යමි’ යි බිම නිදා ගත්තේ ය.

මවුපියෝ ඔහුට නොයෙක් ආකාරයෙන් පැවිදි නො වන්නට කරුණු කීහ. රට්ඨපාලයන්ගේ මිතුරන් ගෙන්වා ඔවුන් ලවා ද කරුණු කියවූහ. රට්ඨපාලයන් ගේ ඡන්දය සන්සිඳ වන්නට කිසිවෙක් අසමර්ථ වූහ. උපවාසයෙන් මිය ගිය හොත් නපුරු ය යි සිතා දින ගණනකට පසු මවුපියෝ ඔහුට පැවිදිවීමට අවසර දුන්හ. රට්ඨපාලයාණෝ නැඟිට කා බී ශරීරය ප්‍ර‍කෘතියට පමුණුවා ගෙන බුදුන් වහන්සේ කරා එළඹ පැවිද්ද ලබා, අද අද ම රහත් බවට පැමිණෙන්නෙමි යි බලවත් ඕනෑකමින් මහණදම් පුරන්නට පටන් ගත්හ. එසේ කොට උන්වහන්සේ දොළොස් වසකින් සව්කෙලෙසුන් නසා රහත් වූහ.

(විස්තර - පාරමිතා ප්‍ර‍කරණය බලන්න.)

සෝණ මහ රහතන් වහන්සේ විරියිද්ධිපාදය පිහිට කොට එහත් වූ සේක. උන් වහන්සේ චම්පා නගරයෙහි බොහෝ සම්පත් ඇති සිටුවරයකුගේ පුත්‍රයෙකි. ඒ සිටු පුත්‍ර‍යාගේ පතුල් වල ලෝමයෝ වූහ. පතුල්වල ලොම් ඇති කෙනකු ඇති බව අසා පුදුම වූ බිම්සර රජතුමා වරක් ඔහු ගෙන්වා ඔහුගේ පතුල් බැලීය. පසු කලෙක ඒ සිටු පුත් තෙමේ ගිහිගෙයින් නික්ම බුදු සස්නෙහි පැවිදි විය. පැවිදි වූ සෝණ තෙරුන් වහන්සේ සීත වනයෙහි වාසය කළ සේක. උන්වහන්සේ මහණදම් පිරීමෙහි මහත් උත්සාහය ඇතියෙක් වූහ. නිදිමත නො එනු පිණිස උන්වහන්සේ සක්මන් කරමින් භාවනා කළ සේක. ඉතා මෘදු වූ උන්වහන්සේගේ පතුල්වල බොහෝ වේදනා ඇති වූ නමුත් උන්වහන්සේ නො නවත්වා ම සක්මන් කරමින් භාවනාවෙහි යෙදුණාහ.

ක්‍ර‍මයෙන් උන්වහන්සේගේ මොළොක් පතුලේ ගෙවී ඒවායින් ලේ ගලන්නට විය. සක්මන් කරන තැන ලේ තැවරීමෙන් ගවයන් මැරූ තැනක් බඳු විය. එපමණ වීර්‍ය්‍යයෙන් මහණ දම් පුරා ද රහත් නො වූ බැවින් දිනක් සෝණ තෙරුන් වහන්සේ ට නැවත ගිහි වීමේ අදහස ද ඇති විය. ඒ බව තථාගතයන් වහන්සේ දැන, එහි වැඩ වදාරා වීණා උපමාවක් දක්වා පමණ ඉක්මවා වීර්‍ය්‍යය නො කොට පමණට වීර්‍ය්‍යය පවත්වන ලෙසට අවවාද කළ සේක. සෝණ තෙරුන් වහන්සේ එසේ කොට නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා රහත් වූ සේක.

සම්භූත මහ රහතන් වහන්සේ චිත්තිද්ධිපාදය පිහිට කොට රහත් වූ සේක. උන් වහන්සේ තථාගතයන් වහන්සේ ගෙන් කායගතාසති කමටහන ගෙන භාවනා කරමින් සීත වනයෙහි වැඩහුන් සේක. දිනක් වෙසවුණු මහරජතුමා දකුණු දිග බලා අහසින් යන කල්හි උන් වහන්සේ සීත වනයෙහි එළිමහන්තැන කමටහන මෙනෙහි කරමින් වැඩ සිටිනු දැක, අහසින් බැස, වැඳ, “සමාධියෙන් නැඟුණු කල්හි මා ආ බව සැල කරවු. එතෙක් තෙපි තෙරුන් වහන්සේ ද ආරක්ෂා කරව් ය” යි යකුන් දෙදෙනකුට නියම කොට ගියේ ය. සමාධියෙන් නැඟී සිටි කල්හි යක්ෂයෝ තෙරුන් වහන්සේට ඒ බව සැල කළහ. එ කල්හි තෙරුන් වහන්සේ වදාරන සේක් :-

“යක්ෂයෙනි, අපට තථාගතයන් වහන්සේ විසින් දෙන ලද සිහිය නමැති ආරක්ෂකයෙක් ඇත්තේ ය. ඒ ආරක්ෂකයා ම අප රක්නේ ය. අන් ආරක්ෂකයකු අපට වුවමනා නැත. අපට මුර කොට තොප නො වෙහෙසිය යුතු ය. ඒ බව වෙසවුණු මහරජතුමාට ද දන්වනු මැනව” යි වදාළ සේක. එසේ කියා ඔවුන් යවා භාවනා කොට සම්භූත තෙරුන් වහන්සේ එකෙණෙහි ම රහත් වූහ. රහත් වීම කෙරෙහි ම තදින් නැමී පැවැතියා වූ උන්වහන්සේගේ සිත චිත්තිද්ධිපාදය ය.

ලූඛචීවර ධාරීන් අතුරෙන් අගතැන් පත් මෝඝරාජ මහ රහතන් වහන්සේ වීමංසිද්ධිපාදය පිහිට කොට රහත් බවට පැමිණියෝ ය. උන් වහන්සේ බාවරී නම් වූ මහතවුසා ගේ ප්‍ර‍ධාන ශිෂ්‍යයන් සොළොස් දෙනාගෙන් කෙනෙක් වූහ. ඒ තවුස් පිරිසෙහි සැම දෙනාට ම නුවණින් වැඩි වූවෝ මෝඝ රාජයෝ ය. බුදුන් වහන්සේ විසින් ඔවුන් විචාළ පැනයට පිළිතුරු වශයෙන් වදාළ :-

“සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු

මොඝරාජ සදා සතො,

අත්තානදිට්ඨිං ඌහච්ච

එවං මච්චුතරො සියා

එවං ලොකං අවෙක්ඛන්තං

මච්චුරාජා න පස්සති.”

යන ගාථාව අසා ප්‍ර‍ඥාව පිහිට කොට සියලු කෙලෙසුන් නසා උන් වහන්සේ එතැන දී ම රහත් වූහ.

යම් කිසිවකට ධ්‍යාන මාර්ගාදි සෘද්ධි ධර්ම ඇති කර ගැනීමේ බලවත් කැමැත්ත ඇති නො වේ නම්, ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමට වීර්‍ය්‍ය ඇති නො වේ නම්, ඒවාට නැමුණු සිත ඇති නො වේ නම්, ස්කන්ධාදි ගම්භිර ධර්මයන්හි පැවැත්විය හැකි නුවණ ඇති නො වේ නම්, සෘද්ධිපාද නැත්තා වූ පින්වතුන් විසින් සෘද්ධිපාද ඇතියවුන්ගේ චරිත මෙනෙහි කිරීමෙන් ද, සෘද්ධිපාද ඇත්තා වූ සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් ද, සෘද්ධිපාද ඇති වීමට හේතු වන ධර්මයන් ඇසීමෙන් හා භාවිත කිරීමෙන් ද, තමන්ගේ සන්තානයෙහි සෘද්ධිපාද ධර්ම ඇති කර ගත යුතු ය. සෘද්ධිපාද කථාව නොයෙක් ක්‍ර‍ම ඇත්තා වූ ද ආචාර්‍ය්‍ය මත භේද ඇත්තා වූ ද ගැඹුරු කථාවෙකි. මෙතෙකින් කරන ලද්දේ යෝගාවචරයනට පහසුවෙන් තේරුම් ගත හැකි වූ ද යෝගකර්ම සිද්ධිය සඳහා දැන ගැනීමට ප්‍ර‍මාණ වූ ද සෘද්ධිපාද විස්තරයෙකි.

තවත් ක්‍ර‍මයකින් කියන කල්හි සෘද්ධිපාද සෘද්ධි විභාගය පරිකර්මයා ගේ හා ප්‍ර‍තිලාභයා ගේ වශයෙන් දැක්විය යුතු ය. ඒ මෙසේ ය. ප්‍ර‍ථමධ්‍යානය සඳහා කරන පරිකර්මය සෘද්ධි පාදය ය. ප්‍ර‍ථමධ්‍යානය සෘද්ධිය ය. ද්විතීයධ්‍යානයට පරිකර්මය සෘද්ධිපාදය ය. ද්විතීයධ්‍යානය සෘද්ධිය ය. තෘතීය ධ්‍යානයට පරිකර්මය සෘද්ධිපාදය ය. තෘතීයධ්‍යානය සෘද්ධිය ය. මෙසේ නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය දක්වා කිය යුතු ය. සෝවාන් මාර්ගයට පරිකර්මය සෘද්ධිපාදය ය. සෝවාන් මාර්ගය හා ඵලය සෘද්ධිය ය යනාදීන් අර්හත් ඵලය දක්වා ද කිය යුතු ය. පූර්ව පූර්ව වූ සෘද්ධිය ද පශ්චිම පශ්චිම සෘද්ධියට පාදය වේ. ප්‍ර‍ථමධ්‍යානය සෘද්ධිපාදය ය, ද්විතීයධ්‍යානය සෘද්ධිය ය, ද්විතීයධ්‍යානය සෘද්ධිපාදය ය, තෘතීයධ්‍යානය සෘද්ධිය ය යනාදීන් අර්හත්ඵලය දක්වා ද විස්තර කළ යුතු ය.

මෙතෙකින් සෘද්ධිපාද කථාව නිමි.

ඉන්ද්‍රිය ධර්මයෝ

“සද්ධින්ද්‍රියං භික්ඛවෙ, බෝධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. විරියින්ද්‍රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සතින්ද්‍රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සමාධින්ද්‍රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. පඤ්ඤින්ද්‍රියං බොධි පක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සෙය්‍යථාපි භික්ඛවෙ, යෙ කෙචි තිරච්ඡානගතා පාණාසීහො තෙසං මිගරාජා අග්ගමක්ඛායති යදිදං ථාමෙන ජවෙන සූරියෙන, එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා පඤ්ඤින්ද්‍රියං තෙසං අග්ගමක්ඛායති යදිදං බොධාය.”

තේරුම :-

මහණෙනි, සද්ධින්ද්‍රියය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. විරියින්ද්‍රියය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. සතින්ද්‍රියය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. සමාධින්ද්‍රිය ය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. පඤ්ඤින්ද්‍රියය බෝධිපාක්ෂික ධර්මයෙකි. එය සත්‍යාවබෝධය පිණිස වේ. මහණෙනි, යම් තිරිසන් සත්ත්ව කෙනෙක් වෙද්ද, ඔවුන් අතුරෙන් සිංහයා වීර්‍ය්‍යයෙන් ද වේගයෙන් ද සූරභාවයෙන් ද අග්‍ර‍ය යි කියනු ලැබේ. මහණෙනි, එපරිද්දෙන් යම් බෝධිපාක්ෂික ධර්ම කෙනෙක් වෙත් ද, ඔවුන් අතුරෙන් පඤ්ඤින්ද්‍රිය ය අග්‍ර‍ය යි කියනු ලැබේ.

අන්‍යයන් කෙරෙහි තමන්ගේ අධිපති බව පවත්වන රාජාදීන් මෙන් නාමරූප ධර්මයන්හි අධිපති බව පවත්නා වූ ධර්මයෝ ඉන්ද්‍රිය නම් වෙති. අධිපති බව පැවැත්වීමය යනු අන්‍ය ධර්මයන් තමා හට අනුකූල කරවා ගැනීම ය. බුද්ධාගමෙහි ඉන්ද්‍රිය ධර්ම දෙවිස්සක් දක්වා තිබේ. ඒ සියල්ල ම සම්බෝධියට උපකාර වන්නේ නො වේ. දෙවිසි ඉන්ද්‍රිය ධර්මයන් අතුරෙන් සද්ධින්ද්‍රියය. විරියින්ද්‍රියය, සතින්ද්‍රියය, සමාදින්ද්‍රියය, පඤ්ඤින්ද්‍රියය යන මේ ඉන්ද්‍රියයෝ පස්දෙන විශේෂයෙන් සම්බෝධියට උපකාර වෙති. එ බැවින් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් ඒ පස පමණක් ගනු ලැබේ.

සද්ධින්ද්‍රිය

සද්ධින්ද්‍රිය යන මෙහි සද්ධා යනු බුද්ධාදි රත්නත්‍රයෙහි ගුණයෝ ය. පින් පව් ඇති බවය, පින් - පව්වලට විපාක ඇති බවය යනාදිය පිළිගන්නා ස්වභාවය ය. විශ්වාසය යනු ද එයට නමෙකි. එහෙත් බුද්ධගුණාදියෙන් අන්‍ය වූ විශ්වාසයන් මෙහි අදහස් කරන ශ්‍රද්ධාව නො වන බව ද සැලකිය යුතු ය. පැහැදීම ය යනු ද ශ්‍රද්ධාවට නමෙකි. මෝහ දෘෂ්ටි මානාදි ක්ලේශයෝ සිතට බුද්ධගුණාදිය පිළිගන්නට නො දෙති. බුද්ධගුණාදිය පිළිගැනීමට බාධා කරති. සිතට බුද්ධගුණාදිය පිළිගැනෙන්නේ ඒ ක්ලේශයන් සිතින් පහ වූ කල්හි ය. ශ්‍රද්ධාව පැමිණීමෙන් සිතෙහි ඇති බුද්ධගුණාදිය පිළිගැනීමට බාධා කරන ක්ලේශයෝ සිතින් පහවෙති. එයින් සිත පැහැදේ. සිතේ ඒ පැහැදීම මිශ්‍ර‍ ව පවත්නා වූ මඩ ආදිය ඉවත් වීමෙන් ඇති වන ජලයේ පැහැදීම මෙන් දත යුතු ය.

තවත් ක්‍ර‍මයකින් කියත හොත් ශ්‍රද්ධාව ම, බුද්ධ ගුණාදිය පිළිගැනීමට බාධා කරන ක්ලේශයන්ගෙන් කිලිටි ගතියට විරුද්ධ වූ පෑදුණු ස්වභාවයකැයි කිය යුතු ය. එය ඇති කල්හි එයට අනුව සිත පහදින්නේ ය. ඇතැමෙක් ශ්‍රද්ධාවය හෙවත් පැහැදීමය යනු සතුටය කියා හෝ ආදරය ය කියා හෝ වරදවා තේරුම් ගෙන සිටිති. බුද්ධාදීන් කෙරෙහි ඇති වන්නා වූ සතුට ආදරය, පැහැදීමේ ඵලයෝ ය. පැහැදීම වූ බුද්ධගුණාදිය පිළිගන්නා ස්වභාවය නිසා බුද්ධාදීන් කෙරෙහි සතුට ද ආදරය ද ඇති වේ. බුද්ධගුණාදිය පිළිගන්නා ස්වභාවයෙන් උපදනා වූ ශ්‍ර‍ද්ධාව තමා හා සම්ප්‍ර‍යුක්ත සිත හා චෛතසිකයන් ද බුද්ධගුණාදිය පිළිගැනීමෙහි යොදවයි. බුද්ධගුණාදිය පිළිගැනීමට සම්ප්‍ර‍යුක්ත චිත්ත - චෛතසිකයන් අනුකූල කරවා ගනී. සම්ප්‍ර‍යුක්ත ධර්මයන් තමාට අනුකූල කරවීම් වශයෙන් ශ්‍රද්ධාව ඉන්ද්‍රියයක් ද වෙයි. එ බැවින් එයට සද්ධින්ද්‍රියය යි කියනු ලැබේ.

හැම පිනක් ම කරන හැම දෙනා කෙරෙහි ම සද්ධින්ද්‍රියය ඇති වේ. සද්ධින්ද්‍රියයෙන් තොර ව කරන පිනක් නැත්තේ ය. එහෙත් ඒ හැම සද්ධින්ද්‍රියක් ම බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාවට අයත් නො වේ. දන් දෙන්නා වූ ද, සිල් රකින්නා වූ ද, මෙයත් මරණින් මතු සැප ලැබීමට හේතු වන එක්තරා පිනකැයි සිතා මෛත්‍රී භාවනාදිය කරන්නා වූ ද, සාමාන්‍ය ජනයා කෙරෙහි ඒ පින් සිදු කිරීමේ දී උපදනා වූ දුර්වල ශ්‍ර‍ද්ධාව යෝග ක්‍රියාවන්ට ප්‍ර‍මාණ නො වේ. යෝග ක්‍රියාවන්හි දී සිත තමාගේ වශයෙහි පැවැත්වීමට හෙවත් සිත ආණ්ඩු කිරීමට ඒ දුර්වල ශ්‍ර‍ද්ධාව සමත් නො වේ. යෝගකර්මයට වන් කල්හි ඒ ශ්‍ර‍ද්ධාව සිතට පැරදෙයි. සිත ඒ ශ්‍ර‍ද්ධාව තමා කෙරෙන් බැහැර කොට අන් අතකට හැරෙයි. එ බැවින් ඒ දුර්වල ශ්‍ර‍ද්ධාව බෝධිපාක්ෂික සද්ධින්ද්‍රියය නො වේ.

ශ්‍ර‍ද්ධාව මඳ තැනැත්තාට හෙවත් දුබල සැදැහැයක් ඇති තැනැත්තාට යෝග කර්මය අප්‍රිය දෙයකි. ඔහුට එහි ආස්වාදයක් ප්‍රීතියක් නැත. එ බැවින් යෝගක්‍රියාව පටන් ගත්තේ ද ඔහුගේ සිත එහි නො පිහිටා කාමයන් දෙසට ම නැවත හැරෙන්නේ ය. සිතට යෝග කර්මය ප්‍රියවීමට යෝගකර්මයෙන් ආස්වාදයක් ප්‍රීතියක් ලැබිය හැකි වීමට බලවත් ශ්‍ර‍ද්ධාවක් තිබිය යුතු ය. බෝධිපාක්ෂික සද්ධින්ද්‍රිය වනුයේ වනුයේ සිතට යෝග කර්මයේ දී ආස්වාදයක් ප්‍රීතියක් ලබා දී එහි සිත පිහිටවිය හැකි වන තරමේ බලයෙන් යුක්ත වූ ශ්‍ර‍ද්ධාව ය. ප්‍ර‍කෘති ශ්‍ර‍ද්ධාව ඒ තත්ත්වයට පැමිණෙන සැටියට දියුණු කළ හැක්කේ ද භාවනාවෙහි යෙදීමෙන් ම ය. එබැවින් එසේ දියුණු කරන ලද බලවත් කරන ලද ශ්‍ර‍ද්ධාවට භාවනා ශ්‍ර‍ද්ධාව යයි ද කියනු ලැබේ. ලෝකෝත්තර මාර්ගඥානය ඇති වන තෙක් යෝග ක්‍රියාව ගෙන යා හැකි වීමට භාවනා ශ්‍ර‍ද්ධාව වූ සද්ධින්ද්‍රියය ඇති කර ගත යුතු ය.

ඉන්ද්‍රිය භාවනාව කරන්නා වූ යෝගාවචරයා විසින් තමාගේ ඉන්ද්‍රියයන් වැඩුණු නො වැඩුණු බව ද තේරුම් ගත යුතු ය. ඉන්ද්‍රිය බලය විමසිය යුත්තේ ඒ ඒ ඉන්ද්‍රියයාගේ බලය විශේෂයෙන් පවත්නා වූ ස්ථානයන් ගෙනි. “චතුසු සොතාපත්තියංගෙසු එත්ථ සද්ධින්ද්‍රියං දට්ඨබ්බං” යි සෝතාපත්තියංග සතරෙහි දී සද්ධින්ද්‍රිය දත යුතුය යි වදාරන ලද පරිදි සෝතාපත්තියංගයන්හි සද්ධින්ද්‍රිය විමසිය යුතු ය. සෝතාපත්තියංග සද්ධින්ද්‍රියයාගේ බලය විශේෂයෙන් පවත්නා වූ ද, සද්ධින්ද්‍රිය ය ප්‍ර‍ට වන්නා වූ ද ස්ථානය ය.

බුද්ධාදි රත්නත්‍රයෙහි ගුණයන් ගෙන භාවනා වශයෙන් එය මෙනෙහි කරන්නට වන් කල්හි ඒ අරමුණ තමාගේ සිතට මිහිරි වේ නම්, එහි සිත පිහිටුවා ගෙන එය මෙනෙහි කරමින් සිටීම සිතට ආස්වාදයක් වේ නම්, ධ්‍යානයට සමවැදුන කෙනකුට මෙන් කැමති තාක් කල් එය මෙනෙහි කරමින් සිටිය හැකි වේ නම්, එයින් සද්ධින්ද්‍රිය දියුණු වී තිබෙන බව තේරුම් ගත යුතු ය. භාවනාවන් අතුරෙන් සද්ධින්ද්‍රිය දියුණු කර ගැනීමට ඉතා හොඳ ඉතා පහසු භාවනාවත් බුද්ධගුණ භාවනාව ම ය. සද්ධින්ද්‍රියය දුබල තැනැත්තන් විසින් එය දියුණු තියුණු කර ගැනීමට ආනුභාව සම්පන්න කර ගැනීමට බුද්ධානුස්මෘති භාවනාව කළ යුතු ය. බුද්ධානුස්මෘතිය වැඩීමෙහි දී ද බුද්ධ ගුණය තේරුම් ගැනීම ප්‍රඥෙන්ද්‍රියයට අයත් ය. බුද්ධානුස්මෘතිය පටන් ගත යුත්තේ ද පළමු කොට හොඳින් බුද්ධ ගුණය තේරුම් ගෙන ය. බුද්ධ ගුණය අවබෝධ නො වී භාවනා කිරීමෙන් ද සද්ධින්ද්‍රියය නො වැඩේ.

විරියින්ද්‍රිය

විරියින්ද්‍රිය යන මෙහි විරිය යනු යම්කිසි ක්‍රියාවක් කිරීමෙහි දී එය නො නිමවා නො නවත්වා වූ ද, ක්‍රියාව මනා කොට සිදු කරන්නා වූ ද, කළ යුතු දෙය කෙරෙහි අධිපති බව පවත්වන්නා වූ ද, එක්තරා මානසික ශක්ති විශේෂයකි. එම සම්ප්‍ර‍යුක්ත චිත්ත චෛතසිකයන් තමාට අනුකූල කරවන්නා වූ ස්වභාවයෙන් ඉන්ද්‍රියයක් ද වේ. එබැවින් වීර්‍ය්‍යයට ම විරියින්ද්‍රිය යයි කියනු ලැබේ. වීර්‍ය්‍යය කායික වීර්‍ය්‍ය මානසික වීර්‍ය්‍ය වශයෙන් දෙ වැදෑරුම් වේ. ශරීර ශක්තිය කායික වීර්‍ය්‍ය නමි. එය රූප කොට්ඨාසයට අයත් ය. ඉන්ද්‍රිය කථාවෙහි එය නො ගනු ලැබේ. විරියින්ද්‍රිය වනුයේ මානසික වීර්‍ය්‍යය ය. එය කුශලා කුශල දෙපක්ෂයෙහි ම යෙදෙන ධර්මයෙකි. අකුශල කර්ම විෂයයෙහි වූ වීර්‍ය්‍යය අකුශල විරියින්ද්‍රිය ය.

මේ බෝධිපාක්ෂික කථාවෙහි ගනු ලබන්නේ කුශල පක්ෂයට අයත් විරියින්ද්‍රිය ය. කුශල වීර්‍ය්‍යය ද ප්‍ර‍කෘති වීර්‍ය්‍යය ය, භාවනාමය වීර්‍ය්‍යය යි දෙ වැදෑරුම් වේ. එයින් විරියින්ද්‍රිය ය වැඩි දියුණු කිරීමේ අදහසින් ධුතංග රක්ෂා කිරීම, සමාධි ප්‍ර‍ඥා භාවනා කිරීම යනාදියෙන් වීර්‍ය්‍යය දියුණු නො කළා වූ සාමාන්‍ය පුද්ගලයන් ගේ වීර්‍ය්‍යය, ප්‍ර‍කෘති වීර්‍ය්‍යය ය. එය සාමාන්‍ය වැඩවලට යෝග්‍ය වතුදු ලෝකෝත්තර මාර්ගයට පැමිණීම සඳහා කළ යුතු භාවනාවට ප්‍ර‍මාණවත් නො වේ. නො වැඩූ වීර්‍ය්‍යය ඇති යෝගාවචරයාගේ සිත භාවනා කර්මයට වන් කල්හි දුබල වන සැටි කුසීත වස්තූන් ගේ වශයෙන් දත යුතු ය. කුසීතවත්ථු අටෙකි. එය අංගුත්තර නිකය අට්ඨක නිපාතයෙහි වදාරා තිබේ.

කුශීත වස්තු අට

නො වැඩූ වීර්‍ය්‍ය ඇති යෝගාවචරයා වැඩක් කරන්නට තිබෙන කල්හි “අද වැඩ කොට මහන්සි වන්නට තිබේය” යි නො පැමිණියා වූ ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන්ට පැමිණීම සඳහා වීර්‍ය්‍ය නො කොට භාවනාව හැර නිදන්නේ ය.

හෙතෙමේ වැඩ කොට නිම වූ කල්හි “මහන්සි වී සිටින මේ වේලාවෙහි භාවනාදිය නො කළ හැකි ය” යි නැවතත් නිදන්නට ම පටන් ගනී. ධ්‍යාන විදර්ශනා මාර්ග ඵල පිණිස වීර්‍ය්‍ය නො කරයි.

ගමනක් යන්නට තිබෙන කල්හි ද “මට ගමනක් ගොස් මහන්සි වන්නට ඇත්තේ ය. ඒ නිසා දැන් නිදා ගත යුතුය” යි භාවනාව හැර නිදන්නේ ය.

ගමන ගොස් වෙහෙසුණු කල්හි ද “මහන්සි වී සිටින්නා වූ මට අද අනෙකක් නො කළ හැකි ය” යි හෙතෙමේ නිදයි. ධ්‍යානාදියට පැමිණීමට වීර්‍ය්‍ය නො කරයි.

හෙතෙමේ බලාපොරොත්තු වන පරිදි භෝජනයක් නොලත් දිනයෙහි “අද මට සෑහෙන්නට ආහාරයක් ගන්නට නුපුළුවන් විය. එබැවින් දුබල වෙමි. අද මට භාවනා කරන්නට ශක්තිය නැතැ” යි නිදයි. ධ්‍යානාදියට පැමිණීමට වීර්‍ය්‍ය නො කරයි.

රිසි පරිදි බොජුන් ලබා රිසි සේ කුසපුරා වැළඳූ දිනෙහි “අද මාගේ කුස පිරුණා වැඩිය, එබැවින් ඇඟ බරය, ඇඟට පණ නැත” කියා නිදයි. ධ්‍යානාදිය සඳහා වීර්‍ය්‍ය නො කරයි.

හෙතෙමේ සුළු රෝගයක් හට ගත් කල්හි “මේ රෝගය තිබියදී ධ්‍යානාදිය සඳහා වීර්‍ය්‍ය කරන්නට ගිය හොත් මහා රෝගයක් විය හැකිය. ඒ නිසා දැන් මම විවේක ගනිමින් නිදමි” යි ධ්‍යානාදිය සඳහා වීර්‍ය්‍ය නො කරයි.

රෝගය සුව වූ කල්හි ද “රෝගය සුව වූ හැටියේ ම දැන් වීර්‍ය්‍ය කළ හොත් නැවත ද රෝගය හට ගත හැකි ය. ඒ නිසා නිවාඩු ගනිමි” යි නිදයි. ධ්‍යානාදිය සඳහා වීර්‍ය්‍ය නො කරයි. මේ කුශීත වස්තු අට ය.

ධ්‍යාන මාර්ග ඵල ප්‍ර‍තිලාභය සඳහා භාවනාවෙහි යෙදීමට ප්‍රමාණ වන්නා වූ භාවනා කර්මයෙහි දී නො පසු බස්නා වූ දියුණු කරන ලද්දා වූ වීර්‍ය්‍යය භාවනා වීර්‍ය්‍ය නම් වේ. බෝධිපාක්ෂික විරියින්ද්‍රිය වනුයේ ඒ භාවනාමය වීර්‍ය්‍යය. එය ඇති කර ගත් තැනැත්තා ඉහත දැක්වූ කරුණු අටෙහි දී පිළිපදින්නේ මෙසේ ය.

දියුණු වූ විරියින්ද්‍රිය ඇති යෝගාවචර තෙමේ වැඩක් කරන්නට ඇති කල්හි “මට ඉදිරියෙහි වැඩක් කරන්නට ඇත්තේ ය, එය පටන් ගත් කල්හි ශමථ විදර්ශනා කර්මයන්හි යෙදෙන්නට නො ලැබෙන්නේ ය. එය මට අලාභයෙක, එ බැවින් දැන් දැන් භාවනාවෙහි යෙදිය යුතු ය” යි ධ්‍යානාදිය ලැබීම සඳහා වඩාත් උත්සාහ කරන්නේ ය. වැඩ කොට අවසන් වූ කල්හි “මාගේ කාලය වැඩට ගත වූයේ ය. එයින් මට වූයේ අලාභයෙක, එය පිරිමැසෙන සැටියට දැන් භාවනාවෙහි යෙදිය යුතුය යි” අධිකතර උත්සාහයෙන් ශ්‍ර‍මණ ධර්මයෙහි යෙදෙන්නේ ය. ගමනක් යන්නට ඇති කල්හි ද, ගමනක් ගොස් ආ කල්හි ද, කුස පුරා ආහාර නො ලත් කල්හි ද, කුස පුරා ආහාර ගත් කල්හි ද රෝගාතුර වූ කල්හි ද, රෝගය සුව වූ කල්හි ද, හෙතෙමේ එසේ ම පිළිපදින්නේ ය.

දුබල වූ විරියින්ද්‍රියයෙන් යෝගකර්මය කරන්නාහට කාලය ගත වීම මිස සමාධි ප්‍ර‍ඥාවන්ගේ වැඩීම සිදු නො වේ. අවුරුදු බොහෝ ගණනක් යෝග කර්මය කළ පසු ද ඔහුගේ සමාධිය පළමු පැවති ලෙස ම පවතී. ඔහුගේ ප්‍ර‍ඥාව ද පළමු තුබූ පරිදි ම පවතී. දුබල විරියින්ද්‍රියයෙන් යෝග කර්මය කිරීම පණ නැති අතකින් වැඩ කිරීමක් වැනි ය, නුහුරු අතකින් වැඩ කිරීම වැනි ය. පණ නැති නුහුරු අතකින් කරන කර්මාන්තය මැනවින් නො සිදු වන්නාක් මෙන් දුබල වීර්‍ය්‍යයෙන් කරන යෝග කර්මය මැනවින් සිදු නො වේ. දියුණු තියුණු වීර්‍ය්‍යයෙන් යෝග කර්මය කරන්නා හට එහි ඵලය ඉක්මනින් දැකිය හැකි වන්නේ ය.

ධන සැපයීම් ආදි ලෞකික කටයුතුවලට වීර්‍ය්‍ය කොට පුරුද්ද ඇති වූ තැනැත්තන්ට විරියින්ද්‍රිය දියුණු කිරීම පහසු ය. විරියින්ද්‍රිය ද කායික වීර්‍ය්‍ය චෛතසික වීර්‍ය්‍ය වශයෙන් දෙයාකාර වේ. ධර්මය පාඩම් කිරීම, බොහෝ කල් වාඩිවී සිටීම, සක්මන් කිරීම ආදි යෝග කර්මයේ දී ශරීරය සහාය කොට ගෙන කළ යුතු ක්‍රියා විෂයයෙහි පවත්නා වීර්‍ය්‍යය කායික වීර්‍ය්‍ය නම් වේ. සමාධිය වැඩීමෙහි හා අනිත්‍යාදි වශයෙන් සංස්කාරයන් මෙනෙහි කිරීමෙහි ද පැවැත්විය යුතු වීර්‍ය්‍යය මානසික වීර්‍ය්‍යය ය. යෝගාවචරයා ඒ දෙකින් ම සම්පූර්ණ විය යුතු ය. වත් පිළිවෙත් කිරීමෙන් ද පිණ්ඩපාතික, නේසජ්ජික, රුක්ඛ මූලික, අබ්භෝකාසිකදි ධුතංග පිරීමෙන් ද, කායික වීර්‍ය්‍යය වැඩේ. කායික වීර්‍ය්‍යය ඇති කර ගත් තැනැත්තාහට එහි පිහිටා එය උපකාර කොට ගෙන භාවනාවෙහි යෙදීමෙන් මානසික වීර්‍ය්‍ය ඇති කර ගැනීම පහසු ය. “කත්ථ විරියින්ද්‍රියං දට්ඨබ්බං? චතුසු සම්මප්පධානෙසු ඵත්ථ විරියින්ද්‍රියං දට්ඨබ්බං” යි වදාළ පරිදි සතර සම්‍යක් ප්‍ර‍ධානයන් අනුව බලා විරියින්ද්‍රියයේ වැඩුණු ප්‍ර‍මාණය තේරුම් ගත යුතු ය.

සතින්ද්‍රිය ය

පෘථග්ජන සත්ත්වයාගේ සිත පඤ්චකාමයට හා පාපයට බර ව පවත්නකි. පඤ්චකාම විෂයයෙහි හා පාපයෙහි පැවැත්ම එහි ස්වභාවය ය. එය කුශල පක්ෂයට හරවා ගැනීමට කුශල පක්ෂයෙහි නැවැත්වීමට යම් කිසි බලයක් වුවමනා ය. සතිය ය යි කියනුයේ සිතට පඤ්චකාම විෂයයෙහි ම යන්නට නො දී, පාප පක්ෂයෙහි ම පවතින්නට නො දී එය කුශල පක්ෂයට හරවන කුශල පක්ෂයෙහි පිහිටවන චෛතසික ධර්මයට ය. සිහිය යනු ද එයට නමෙකි. ඒ චෛතසිකය තමා හා සම්ප්‍ර‍යුක්ත චිත්ත චෛතසිකයන් තමාට අනුකූල කරවන්නා වූ ස්වභාවයෙන් සතින්ද්‍රිය නම් වේ. එය දියුණු කරන කල්හි ක්‍ර‍මයෙන් වැඩී ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගයේ සත් වන අංගය වූ සම්මාසතිය වන්නේ ය. අර්හත් මාර්ග සම්ප්‍ර‍යුක්ත අෂ්ටාංගික මාර්ගයේ සම්මාසතිය වීම එහි දියුණුවේ අවසානය ය. දානාදි පින්කම් වරින් වර කරන සාමාන්‍ය ජනයාගේ සතින්ද්‍රියයට වඩා උසස් වූ යෝග කර්මයෙන් දියුණු කරන ලද සතින්ද්‍රියය ම බෝධිපාක්ෂික සතින්ද්‍රියය වේ.

“කත්ථ සතින්ද්‍රියං දට්ඨබ්බං? චතුසු සතිපට්ඨානෙසු ඵත්ථ සතින්ද්‍රියං දට්ඨබ්බං” යි වදාළ පරිදි සතින්ද්‍රියයා ගේ දියුණුව සතර සතිපට්ඨානයන්ගේ වශයෙන් දත යුතු ය. සතිපට්ඨාන භාවනාව සතින්ද්‍රිය ප්‍ර‍කට ව පෙනෙන තැන ය. ආශ්වාස ප්‍ර‍ශ්වාසය හෝ කේශාදි කොට්ඨාසයන් හෝ මෙනෙහි කරන කල්හි සිත අන් අරමුණු කරා නොගොස් කාය කොට්ඨාසයන්හි ම පවතී නම්, වෙහෙසක් නැති ව කාය කොට්ඨාසයන්හි ම සිත පැවැත්විය හැකි වේ නම්, බොහෝ වේලා ගත වුව ද සිත කාය කොට්ඨාසයන්හි ම පවතී නම් එයින් සතින්ද්‍රියයා ගේ දියුණුව දත යුතු ය. සිත කාය කොට්ඨාසයන්හි නො පිහිටා නැවත නැවත වහ වහා බැහැරට යේ නම් එයින් සතින්ද්‍රිය දියුණු ව නැති බව තේරුම් ගත යුතු ය.

සමාධින්ද්‍රිය ය

ලොව ඇති සියල්ලෙහි ම සත්ත්වයන් ගේ සිත් ඇද ගන්නා ස්වභාවයක් තිබේ. ඒ හැම දෙය ම ඇදෙන බව නැමෙන බව යොමු වන බව සිතේ ස්වභාවය ය. ගොඩක් ම බදා ගන්නට යන තැනැත්තා හට එකකුදු හොඳින් හසු නො වන්නාක් මෙන්, සිත හැම දෙයකට ම යොමු වුවහොත් එක දෙයක් ගැනවත් හොඳ දැනීමක් ඇති නො වේ. ඒ ඒ දෙය පිළිබඳ හොඳ දැනුම ඇති වීමට එක් එක් වරකදී එක් එක් දෙයකට පමණක් සිත් යොමු කළ යුතු ය. එක ම වස්තුවෙහි ද අනේකාකාර ඇත්තේ ය. ඒ ඒ දෙය පිළිබඳ දැනුම ඇතිවීමට ඒ අනේකාකරයන් ගෙන් එක් ආකාරයකට පමණක් සිත යොමු කළ යුතු ය. එසේ නො වුවහොත් එක් දෙයක් පිළිබඳවත් දැනීමක් ඇති නො වේ.

සිත්කම් දන්නා කෙනකුට එක් මිනිසකුගේ රූපය ආකාරය සියයකින් වුව ද ඇඳිය හැකි ය. එහෙත් එක වරක දී ඒ රූපය ඇඳිය හැක්කේ යම් කිසි එක ආකාරයකින් ය. එය නොයෙක් ආකාරයෙන් කරන්නට ගියහොත් එක් ආකාරයකිනුදු ඇඳීම සිදු නො වේ. සිතින් අරමුණු ගැනීම ද එසේ තේරුම් ගත යුතු ය. සිත හැම අරමුණට ම ඇදෙන බැවින් එය නොයෙක් දෙයට නොයෙක් අරමුණට, එක් අරමුණේ ද නොයෙක් ආකාරයන්ට යොමු වන්නට නො දී එක් අරමුණක එක් ආකාරයක පිහිටවන ධර්මයක උපකාරය සිතට සැම කල්හි ම වුවමනා ය. සමාධින්ද්‍රියය යි කියනුයේ එක් අරමුණක පිහිටවීම් වශයෙන් සිත ආණ්ඩු කරන ධර්මයට ය. එද එක් චෛතිසක ධර්මයෙකි. එය සැම සිතක ම ලැබෙන්නේ ය.

සමාධියෙන් තොර ව සිතට ඇති විය නො හැකි ය. සැම සිතක ම ඇති සැම දෙනාට ම ඇති ඒ දුබල සමාධිය ධ්‍යානාදිය සඳහා කරන යෝග කර්මයට ප්‍ර‍මාණ නොවේ. එ බැවින් එය බෝධිපාක්ෂික සමාධින්ද්‍රිය ලෙස නො සලකනු ලැබේ. ඒ සමාධිය දියුණු කළ හැකි ධර්මයෙකි. සමාධිය දියුණු වීමෙන් සිත් රාශියක් ම සිත් පරම්පරා බොහෝ ගණනක් ම එක් අරමුණක පැවැත්වීමට සමත් වේ. ධ්‍යානාදිය සඳහා යෝග කරන්නා වූ සත්පුරුෂයන්ට වුවමනා, සිත් බොහෝ ගණනක් එක ම ආරම්මණයක එක ම ආකාරයකට පැවැත්විය හැකි සමාධියකි. බෝධිපාක්ෂික සමාධින්ද්‍රිය එය ය. එය පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි ය යි තෙවැදෑරුම් වේ. ඒවායේ විස්තර භාවනා ක්‍ර‍ම උගන්වන පොත්වලින් දත යුතු ය.

ආනාපානාද ශමථ භාවනාවන්හි යෙදීමෙන් සමාධිය විශේෂයෙන් දියුණු වේ. ශුද්ධ විදර්ශනාව ම කරන්නවුන්ට විදර්ශනා භාවනාවෙන්ද එය දියුණු වේ. “කත්ථ ච භික්ඛවෙ, සමාධින්ද්‍රියං දට්ඨබ්බං, චතුසු ඣානෙසු ඵත්ථ සමාධින්ද්‍රියං දට්ඨබ්බං” යි දේශිත පරිදි ධ්‍යාන චතුෂ්කයා ගේ වශයෙන් සමාධින්ද්‍රියේ දියුණුව දත යුතු ය.

පඤ්ඤින්ද්‍රිය

සිතට සැම දෙය ම දැනෙන්නේ ය. එහෙත් එයට එක් දෙයකුදු පිරිසිදු ලෙස හොඳින් නො දැනෙන්නේ ය. සිතෙහි දැනීම ඇස් දුබල කෙනකුගේ පෙනීම වැනි ය. ඇස් දුබල තැනැත්තාට බොහෝ දේ පෙනෙතත් පෙනෙන එක් දෙයකුදු ඇස් හොඳ කෙනකුට පෙනෙන්නාක් මෙන් නිවැරදි ලෙස හොඳින් නො පෙනේ. එ මෙන් සිතට ඒ ඒ දෙය දැනෙන නුමුත් පිරිසිදු ලෙස නිවැරදි ලෙස නො දැනේ. සිත හා එක් වී පිරිසිදු ලෙසත් නිවැරදි ලෙසත් අරමුණු දැන ගන්නා ධර්මයක් ඇත්තේ ය. ප්‍ර‍ඥාවය යි කියනුයේ ඒ ධර්මයට ය. එය දුබල ඇසට උපකාර වන කණ්ණාඩියක් වැනි ය. ආලෝකයක් වැනි ය. ඒ ප්‍ර‍ඥාව අරමුණ නො වරදවා ඇති සැටියට ම ගැනීමෙහි සම්ප්‍ර‍යුක්ත ධර්මයන් යෙදවීම් වශයෙන් ඒවා ආණ්ඩු කරන බැවින් පඤ්ඤින්ද්‍රිය නම් වේ.

ඒ ප්‍ර‍ඥාව සාමාන්‍ය ජනයා ගේ සන්තානවල ද විටින් විට ඇති වන්නකි. සාමාන්‍ය ජනයා කෙරෙහි ඇති වන්නා වූ ඒ ප්‍ර‍ඥාවෙහි ප්‍ර‍බල දර්ශන ශක්තියක් නැත. ධ්‍යානමාර්ගාදිය පිණිස යෝග කරන්නා වූ සත්පුරුෂයන් හට ඔවුන්ගේ යෝග කර්ම සිද්ධියට ඒ දුර්වල ප්‍රඥෙන්ද්‍රිය ය ප්‍ර‍මාණ නො වේ. එයට ඉතා දියුණු නුවණක් තිබිය යුතු ය. ඇසින් දුටු දෙයක් නැවත ඇසට පෙනෙන්නාක් මෙන් යම් දෙයක් පෙනෙන සැටියට සිතීම පහසු කාර්යයක් නො වේ. ධ්‍යාන ලැබීමට ඉදිරියෙහි නැති කසිණාදි ආරම්මණයන් ඇසට පෙනෙන සේ ම සිතින් ගත හැකි විය යුතු ය. එසේ කළ හැකි වීමට දියුණු තියුණු කරන ලද ප්‍ර‍ඥාවක් තිබිය යුතු ය. ලෝකෝත්තර මාර්ග සඳහා කරන විදර්ශනා භාවනාවට එයට ද වඩා දියුණු තියුණු ආලෝකවත් නුවණක් තිබිය යුතු ය. මේ බෝධිපාක්ෂික ධර්ම විෂයෙහි ප්‍රඥෙන්ද්‍රියය යි කියනුයේ ශමථ විදර්ශනාවන්ට යෝග්‍ය වන පරිදි දියුණු කර ගන්නා ලද ප්‍රඥෙන්ද්‍රිය ය.

ශමථ භාවනාවට භාවනාවෙන් ම දියුණු කළ ප්‍ර‍ඥාවක් තිබිය යුතු ය. විදර්ශනාවට උගෙනීමය භාවනා කිරීමය යන දෙකින් ම දියුණු කළ ප්‍ර‍ඥාවක් තිබිය යුතු ය. ශමථ භාවනා ක්‍ර‍මයෙන් කරන ප්‍ර‍ඥා වර්ධනයේ අවසානය, ඉද්ධිවිධ දිබ්බ සෝත දිබ්බචක්ඛු පරචිත්ත විජානන පුබ්බේනිවාසානුස්සති යථාකම්මූපග යන අභිඥා ඇති වීම ය. විදර්ශනා ක්‍ර‍මයෙන් කරන ප්‍ර‍ඥා වර්ධනයේ අවසානය ලෝකෝත්තර මාර්ග ඵල ප්‍ර‍ඥාවන් පහළ වීම ය. ශමථ විදර්ශනා ක්‍ර‍ම දෙකින් ම ප්‍ර‍ඥාව දියුණු කළ යුතු ය. “කත්ථ පඤ්ඤින්ද්‍රියං දට්ඨබ්බං? චතුසු අරියසච්චේසු ඵත්ථ පඤ්ඤින්ද්‍රියං දට්ඨබ්බං” යනුවෙන් දැක්වෙන පරිදි ප්‍රඥෙන්ද්‍රියයා ගේ දියුණුව චතුරාර්‍ය්‍ය සත්‍යයන් ගේ වශයෙන් දත යුතු ය. චතුරාර්‍ය්‍යසත්‍යය ගැන සිතන කල්හි එය යම් යම් පමණට වැටහේ නම් ඒ ඒ පමණට ප්‍රඥෙන්ද්‍රිය දියුණු වී ඇති බව තේරුම් ගත යුතු ය. ඉන්ද්‍රියත්වයෙහි හෙවත් අධිපති බැව්හි කෘත්‍යය දෙකක් ඇත්තේ ය. එන් එකක් අන්‍යයන් තමාට අනුකූල කරවීම ය. අනෙක ප්‍ර‍තිපාක්ෂිකයන් (විරුද්ධ කාරයන්) මැඩ පැවැත්වීම ය. මෙහි ඉහත ඉන්ද්‍රියත්වය විස්තර කර ඇත්තේ අනුකූල කරවීම වූ ඉන්ද්‍රිය කෘත්‍යයා ගේ වශයෙනි. ප්‍ර‍තිපාක්ෂිකයන් මැඩීම වූ කෘත්‍යයාගේ වශයෙන් ද ඉන්ද්‍රිය විස්තර කළ යුතු ය. ඒ මෙසේ ය. විචිකිත්සා දෘෂ්ටි මෝහාදීහු ශ්‍රද්ධාවට විරුද්ධ ධර්මයෝ ය. ඒවායේ බලය සිත්හි පවත්වන්නට නො දී ඒවා මැඩ පැවැත්වීම සිතින් බැහැර කිරීම ශ්‍ර‍ද්ධාවෙහි ඉන්ද්‍රිය කෘත්‍යය ය. ස්ථ්‍යානමිද්ධ්‍යාදීහු වීර්‍ය්‍යයට ප්‍ර‍තිපක්ෂ ධර්මයෝ ය. ඒවා මැඩ පැවැත්වීම සිතින් බැහැර කිරීම වීර්‍ය්‍යයා ගේ ඉන්ද්‍රිය කෘත්‍යය ය. ඉෂ්ටරූපාරම්මණාදියෙහි සිත ගෙන යන කාමච්ඡන්දාදීහු ස්මෘතිය ගේ හා සමාධිය ගේ ප්‍ර‍තිපක්ෂ ධර්මයෝ ය. එවා මැඩ පැවැත්වීම හා සිතින් බැහැර කිරීම ස්මෘති සමාධීන් ගේ ඉන්ද්‍රිය කෘත්‍යය ය. මෝහය ප්‍ර‍ඥාවට ප්‍ර‍තිපක්ෂ ධර්මය ය. එය මැඩ පැවැත්වීම සිතින් බැහැර කිරීම ප්‍ර‍ඥාව ගේ ඉන්ද්‍රිය කෘත්‍යය ය.

ඉන්ද්‍රිය භාවනාව කළ යුතු සැටි

ඉන්ද්‍රිය භාවනාව කළ යුත්තේ සද්ධින්ද්‍රියෙහි පටන් ය. එය කරන තැනැත්තා විසින් මේ මේ කාරණයෙන් තථාගතයන් වහන්සේ අර්හත් ය, මේ මේ කාරණයෙන් සම්‍යක් සම්බුද්ධය යනාදීන් බුදු ගුණ උගත යුතු ය. හොඳින් තේරුම් ගත් තැනැත්තාහට බුදුන් වහන්සේ ගැන හා බුදුසස්න ගැන ද ඇත්තා වූ සැක දුරු වෙයි. මතු සැක නූපදී. ඒ සැක දුරු වීම සිදු වන්නේ සද්ධින්ද්‍රිය ඇති වීමෙනි. බුදුන් වහන්සේ ගේ දේශනය අනුව පිළිපැදීමට කැමැත්ත ඇති නො වන්නේ - උත්සාහය ඇති නොවන්නේ - පටන් ගතුයේ ද පසු බසින්නේ ශ්‍ර‍ද්ධාව මඳ නිසා ය. ශ්‍ර‍ද්ධාව නැති බව ප්‍ර‍තිපත්තියට මහත් බාධාවෙකි.

සද්ධින්ද්‍රියය ඇති කර ගත් තැනැත්තා හට ඒ බාධාව නැති බැවින් ඔහුට නූපන් අකුශලයන් ගේ නූපදීම සඳහා වීර්‍ය්‍ය කළ හැකි ය. උපන් අකුසල් දුරු කිරීම සඳහා වීර්ය කළ හැකි ය. ඇති කර ගත් කුසල් දියුණු කිරීම සඳහා වීර්‍ය්‍ය කළ හැකිය. නූපන් අකුසල් නූපදවීම ආදිය සඳහා කරන වීර්‍ය්‍යය විරියින්ද්‍රිය ය. එසේ කොට විරියින්ද්‍රිය දියුණු කර ගත යුතු ය. විරියින්ද්‍රිය දියුණු වූ තැනැත්තාට කුශල පක්ෂය අමතක නො වන්නේ ය. ඒ කුශල පක්ෂය අමතක නො වීම සතින්ද්‍රිය ය. සතර සතිපට්ඨානයන්හි සිහිය පැවැත්වීමෙන් එය දියුණු වන්නේ ය. සිහියෙන් යුක්ත වන්නා වූ තැනැත්තා හට සිහියට අනුව සමාධිය වැඩෙන්නේ ය. එය සමාධින්ද්‍රිය ය.

ශ්‍රද්ධාව වැඩුණා වූ වීර්‍ය්‍යය වැඩුණා වූ ස්මෘතිය වැඩුණා වූ සමාධිය වැඩුණා වූ සත්පුරුෂයා හට “අවිද්‍යා නීවරණය හා තෘෂ්ණා බන්ධනය නිසා සසර සැරිසරන්නා වූ මේ සත්ත්වයන් ගේ සංසාරයෙහි පටන් ගැනීමක් නැත්තේ ය, මතු නූපදනා පරිදි අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍ර‍හාණය කිරීම, මතු නූපදනා පරිදි අවිද්‍යා තෘෂ්ණා දෙක්හි නිරෝධය ශාන්ත නිර්වාණයය” යන ඥානය ඇති වන්නේ ය. එය පඤ්ඤින්ද්‍රිය ය. එය දියුණු කිරීමෙන් ලෝකෝත්තර මාර්ග ඥානය ඇති වන්නේ ය. ඉන් පසු ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයා හා “මම පෙර මේ ධර්මයන් ඇසීමෙන් පමණක් දැන සිටියෙමි. දැන් මම ඒවා ප්‍ර‍ත්‍යක්ෂ කරගෙන සිටිමි” යි අචල ශ්‍රද්ධාව ඇති වේ.

ඉන්ද්‍රිය පස අතුරෙන් සද්ධින්ද්‍රිය විරියින්ද්‍රිය සතින්ද්‍රිය යන මේ තුන අප්‍ර‍ධානය. සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය දෙක ප්‍ර‍ධාන ය. යෝගාවචරයන්ට වුවමනා ඒ ඉන්ද්‍රිය දෙකය. ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රිය තුන වුවමනා වන්නේ ප්‍ර‍ධාන ඉන්ද්‍රිය දෙක දියුණු කිරීමට ය. ප්‍ර‍ථමධ්‍යාන සමාපත්ත්‍යාදි සමාපත්ති අට සමාධින්ද්‍රිය යා ගේ ලෞකික වශයෙන් දියුණුව ය. සුඤ්ඤත සමාධි, අනිමිත්ත සමාධි, අප්පණිහිත සමාධි යන තුන ලෝකෝත්තර වශයෙන් සමාධින්ද්‍රියයා ගේ දියුණුව ය. දෘෂ්ටි විශුද්ධ්‍යාදි ඥානයෝ ය. සුඤ්ඤතානුපස්සනාදි අනුපස්සනා තුන ය, විදර්ශනාඥාන දශය ය, මාර්ග ඥාන සතරය, ඵල ඥාන සතර ය, ප්‍ර‍ත්‍යවේක්ෂා ඥානයෝ ය යන මොව්හු ප්‍රඥෙන්ද්‍රියයා ගේ දියුණුව ය.

සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය දෙකින් ද පඤ්ඤින්ද්‍රිය ප්‍ර‍ධාන වේ. සත්ත්වයා නිවනයට පමුණුවන්නේ පඤ්ඤින්ද්‍රියයෙනි. එ බැවින් “සෙය්‍යථාපි භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා පඤ්ඤින්ද්‍රියං තෙසං අග්ගමක්ඛායති” යනාදීන් බොහෝ සූත්‍ර‍ ධර්ම වල පඤ්ඤින්ද්‍රියයා ගේ අග්‍ර‍භාවය වදාරා තිබේ. “මහණෙනි, දඹදිව යම් පමණ වෘක්ෂයෝ ඇත්තාහු ද, ඒවායින් දඹ ගස අග්‍ර‍ යයි කියනු ලැබේ. එ පරිද්දෙන් යම් පමණ බෝධිපාක්ෂික ධර්මයෝ වෙත් ද ඒවායින් පඤ්ඤින්ද්‍රිය අග්‍ර‍ය යි කියනු ලැබේ ය.” යනු ඉහත දැක් වූ සූත්‍ර‍පාඨයේ තේරුම ය.

ඉන්ද්‍රිය භාවනාවෙහි අනුසස්

“පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්‍රියානි, කතමානි පඤ්ච? සද්ධින්ද්‍රියං, විරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤින්ද්‍රියං ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්‍රියානි, ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං ඉන්ද්‍රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති. තතො මුදුතරෙහි අනාගාමී හොති, තතො මුදුතරෙහි සකදාගාමි හොති, තතො මුදුතරෙහි සොතාපන්නො හොති, තතො මුදුතරෙහි ධම්මානුසාරි හොති, තතො මුදුතරෙහි සද්ධානුසාරි හොතීති.”

මෙය ඉන්ද්‍රියසංයුත්තයේ මුදුතරවග්ගයේ දෙවන සූත්‍ර‍ය ය. එහි තේරුම මෙසේ ය.

“මහණෙනි, මොවුහු පස්දෙන ඉන්ද්‍රියයෝ ය, කවර පස් දෙනෙක් ද යත්? සද්ධින්ද්‍රිය ය, විරියින්ද්‍රිය ය, සතින්ද්‍රිය ය, සමාධින්ද්‍රිය ය, පඤ්ඤින්ද්‍රිය ය යන මොවුහු ය. මහණෙනි, මේ ඉන්ද්‍රියයන් සම්පූර්ණයෙන් වැඩීමෙන් රහත් වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් අනාගාමි වේ. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සකෘදාගාමි වේ. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සෝවාන් වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් ධම්මානුසාරී නම් සෝවාන් පුද්ගලයා වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් පුද්ගලයා වෙයි.” යනුයි.

ඉන්ද්‍රිය විස්තරය නිමි.

බලධර්‍මයෝ පස්දෙන

“පඤ්චිමානි භික්ඛවෙ, බලානි. කතමානි පඤ්ච? සද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච බලානි.”

මහණෙනි, බලධර්මයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක් ද යත්? මහණෙනි, සද්ධාබලය ය, විරිය බලය ය, සති බලය ය, සමාධි බලය ය, පඤ්ඤා බලය ය යන මොවුහු පස්දෙනා බල ධර්මයෝ ය.

ලෝකයෙහි අනේකප්‍ර‍කාර වූ බොහෝ බල ඇත්තේ ය. පටිසම්භිදා මග්ගයෙහි “අට්ඨසට්ඨි බලානි” යි බල සැට අටක් දක්වා තිබේ. ඒ සැම බලයක් ම යෝගාවචරයන්ට වුවමනා නැත. මහජනයාට නිවන් මඟට බසින්නට නො දෙන්නා වූ ද, නිවන් පසක් කරනු පිණිස පිළිවෙත් පිරීමට පටන් ගැනීම් වශයෙන් නිවන් මඟට බැස සිටින යෝගාවචරයන් පෙළා, ඔවුන් නිවන් මඟින් බැහැර කරන්නා වූ ද, ඔවුනට නිවන් මඟ වසා සිටින්නා වූ ද, මාරසේනාවන් ඇති බව මහාපදාන සූත්‍රයෙහි මෙසේ වදාරා තිබේ.

“කාමා තෙ පඨමා සෙනා දුතියා අරති වුච්චති,

තතියා ඛුප්පිපාසා තෙ චතුත්ථි තණ්හා පවුච්චති

පඤ්චමි ථීනමිද්ධන්තෙ ජට්ඨා භීරු පවුච්චති.

සත්තමී විචිකිච්ඡා තෙ මක්ඛො ථම්භො ච අට්ඨමො

ලාහො සිලොකො සක්කාරො මිච්ඡාල‍ඩො ච යො යසො

යොචත්තානං සමුක්කංසෙ පරෙ ච අවජානති

එසා නමුචි තෙ සෙනා කණ්හස්සාභිප්පහාරිනි

න නං අසූරො ජිනාති ජෙත්වාව ලභතෙ සුඛං”

අඹු දරුවන් ආදීන් හා වස්තුව පිළිබඳ වූ කාම තෘෂ්ණාව ගිහියන් මුළා කරයි. ඔවුනට නිවන් මඟට බැසීමට නො දෙයි. නිවන් මඟ ආවරණය කෙරේ. එසේ කරන්නා වූ කාමතෘෂ්ණාව මාර සේනාවෙහි එක් යෝධයෙකි.

යම් කිසි ක්‍ර‍මයකින් ඒ කාමතෘෂ්ණාව මැඩ ස්වසන්තානයෙන් බැහැර කොට නිවන් මඟට බැසීම් වශයෙන් පැවිදි බවට පැමිණියවුන්ට සිවුරු පිළිබඳ ව ලද සැටියකින් සතුටු වන බවය. ආහාරය පිළිබඳ ව ලද සැටියකින් සතුටු වන බවය, සෙනසුන් පිළිබඳ ව ලද සැටියකින් සතුටු වන බවය, භාවනාවෙහි ඇලෙන බවය යන ආර්‍ය්‍යවංශ ධර්මය වූ ශ්‍ර‍මණ ප්‍ර‍තිපත්තිය ගැන ඇති වන නො සතුටු බව වූ අරති නම් වූ සූක්ෂ්ම ද්වේෂය බාධා කෙරෙයි. පැවිදි වූවන්ට ඇති වන ඒ අරතිය මාරසේනාවේ එක් යෝධයෙකි.

පැවිදිව අනුන් නිසා ජීවත් වන්නා වූ තැනැත්තා හට සෑහෙන පමණ ආහාරපානයන් නො ලැබීමෙන් සා පිපාසා දෙකින් ඔහු පෙළෙනු ලබයි. පැවිද්දන් පෙළන සා පිපාසා දෙක මාරසේනාවේ එක් යෝධයෙකි.

සා පිපාසා දෙකින් පෙළෙන පැවිද්දා කෙරෙහි සෙවීම පිළිබඳ වූ තෘෂ්ණාව ඇති වේ. එයින් ඔහු ගේ සිත පෙළා දුබල කරනු ලැබේ. සිත දුබල කරන්නා වූ ඒ තෘෂ්ණාව මාරසේනාවේ එක් යෝධයෙකි. සිත දුබල වූ කල්හි ථීනමිද්ධය ඇති වේ. එය මාර සේනාවේ එක් යෝධයෙකි.

ථීනමිද්ධය නිසා ධ්‍යානාදි ගුණ විශේෂ නො ලබන්නහුට ජනයාගෙන් ඈත්ව අරණ්‍යසේනාසනාදියෙහි විසීම ගැන බිය ඇති වේ. ඒ බිය මාරසේනාවේ එක් යෝධයෙකි.

බියෙන් විවේක සුවය විවේක රසය නො ලබා කල් යවන්නහුගේ සන්තානයෙහි මේ ප්‍ර‍තිපත්තිය වැඩ ඇතියක් ද නැතියක් ද යනාදීන් විචිකිච්ඡාව උපදී. එය මාරසේනාවේ එක් යෝධයෙකි.

ප්‍ර‍තිපත්තියෙන් මඳ ගුණයක් වුවද ඇතිවුව හොත් එයින් මත් ව අනුන්ගේ ගුණ අවලංගු කරන අනුන්ගේ ගුණ නො පිළිගන්නා ස්වභාවය වූ මක්ඛය ඇති වේ. එය මාරසේනාවේ එක් යෝධයෙකි.

ප්‍ර‍තිපත්තියෙන් මඳ ගුණයක් වුවද ඇති වුව හොත් එයින් මත් ව අනුන්ගේ ගුණ අවලංගු කරන අනුන්ගේ ගුණ නො පිළිගන්නා ස්වභාවය වූ මක්ඛය ඇති වේ. එය මාරසේනාවේ එක් යෝධයෙකි.

ලැබූ මඳ ගුණය නිසා නැමිය යුත්තන්ට නො නැමෙන ගරු කළ යුත්තන්ට ගරු නො කරන ස්වභාවය වූ ථම්භය ඇති වේ. එය මාරසේනාවේ එක් යෝධයෙකි. ඇත්තා වූ මඳ ගුණය නිසා ඇති වන ලාභ සත්කාර කීර්ති ප්‍ර‍ශංසාවන්ගෙන් මත් වී තමා උසස් කොට ගනී. එය මාර සේනාවේ එක් යෝධයෙකි.

ලාභාදියෙන් මත් ව අනුන් පහත් කොට සිතයි. එය මාර සේනාවේ එක් යෝධයෙකි.

පිටත සිට ගෙන පහර දෙන සතුරාගෙන් බේරීම පහසුය. මාර සේනාව නිවන් පසක් කරනු කැමති සත්පුරුෂයන්ට පහර දෙනුයේ පිටත සිට ගෙන නොව ඔවුන්ගේ සිත් තුළ ම සිට ගෙන ය. එ බැවින් ඒ මාර සේනාව මැඩලීම ඉතා දුෂ්කර කාර්‍ය්‍යයෙකි. බෝම්බවලින් හෝ කාලතුවක්කුවලින් මාර සේනාව නො මැඩිය හැකි ය. සිත් තුළට වදනා මාර සේනාව මැඩලීමට මානසික බල ම තිබිය යුතු ය. සතුරන් රැක සිටන මගක යාම හෝ සතුරු සේනාවක් රැක සිටින තැනට පිවිසීම හෝ සතුරු පීඩනයට ඔරොත්තු දෙන සතුරන් මැඩලිය හැකි නැසිය හැකි බලයක් නැතියකුට නො කළ හැකි වන්නා සේ නිවන් මඟ වසා ගෙන නිවන් දොර වසා ගෙන රැක සිටින මාර සේනාවේ පීඩනයට ඔරොත්තු දෙන මාර සේනාව මැඩීමට පලවා හැරීමට සමත් බලයක් නැතියකුට නිවන් මඟ නො යා හකි ය. නිවනට නො පිවිසිය හැකි ය. එබැවින් නිවන් ලබනු කැමති සෑම දෙනා විසින් ම මාර සේනාව මැඩිය හැකි බලයක් ඇති කර ගත යුතු ය. මේ බෝධිපාක්ෂික ධර්ම කථාවෙහි දැක්වෙන්නේ මාර සේනාව මැඩ නිවනට පිවිසීමට උත්සාහ කරන යෝගාවචරයනට ඒ සඳහා තිබිය යුතු බල පස ය.

එනම් :-

සද්ධා බලය ය, විරිය බලය ය, සති බලය ය, සමාධි බලය ය, පඤ්ඤා බලය ය යනු බල පස ය. ඉහත දැක් වූ ඉන්ද්‍රිය කථාවෙහි දී සද්ධාදි ධර්ම පසෙහි ලක්ෂණ දක්වන ලදි. මෙහිදී විශේෂයෙන් දත යුත්තේ ඒවායේ බල භාවය ය.

ලෝභාදි කෙලෙසුන්ට නො සෙල්විය හැකි පමණට, කෙලෙස් පීඩනය ඉවසිය හැකි පමණට, කෙලෙසුන් පැරදවිය හැකි නැසිය හැකි පමණට ශක්තිමත් වූ ශ්‍රද්ධාව ම ශ්‍රද්ධා බලය ය. සෑම දෙනාට ම ඇති වන සාමාන්‍ය ශ්‍රද්ධාව කෙලෙස් පීඩනයට ඔරොත්තු දෙන්නක් නො වේ. ධර්ම ශ්‍ර‍වණාදියෙන් ශ්‍රද්ධාව ඇති වූ බොහෝ දෙනා දන් දෙන්නට සිල් රකින්නට තවත් නොයෙක් පින්කම් කරන්නට සිතති. එහෙත් තෘෂ්ණාව ඉපදී සැණෙකින් ම ඒ අදහස් ඔවුන් ගෙන් බැහැර කරයි. ඔවුහු තෘෂ්ණාවට යට වී ඒ අදහස් කළ එකකුදු නො කරති. භවභෝග සම්පත් හා කීර්ති ප්‍ර‍ශංසා බලාපොරොත්තුවෙන් පින්කම් කරන්නන් ගේ ශ්‍රද්ධාව භවභෝග සම්පත් වලට ආශාව වූ තෘෂ්ණාවට අනුකූලව තෘෂ්ණාවට යටත් ව පවත්නා ශ්‍රද්ධාවකි. එය තෘෂ්ණාව නැසීමට සමත් ශ්‍රද්ධාවක් නො වේ. එ බැවින් දානාදි පින්කම් කරන සාමාන්‍ය ජනයා ගේ ශ්‍රද්ධාව බෝධිපාක්ෂික ශ්‍රද්ධා බලය නො වන බව දත යුතු ය.

තෘෂ්ණාව මැඩලීමට සමත් වූ බෝධිපාක්ෂික ශ්‍රද්ධා බලය ආර්‍ය්‍යවංශ ධර්මය විෂය කොට ඇතියකි. එය හැසිරෙන වැඩෙන තැන ආර්‍ය්‍යවංශ ධර්මය ය. ඇතැමකුට ධර්මශ්‍ර‍වණාදියෙන් ශ්‍රද්ධා බලය ඉක්මනින් ද ඇති වේ. ඇතැම් පින්වතුන් දහම් අසා අඹුදරුවන් කෙරෙහි හා වස්තුව කෙරෙහි පැවැති ආලය දුරු කොට අඹුදරුවන් හැර නෑ මිතුරන් හැර ධනය හැර පැවිදි වන්නේ ඒ මහා තෘෂ්ණාස්කන්ධය පෙරළීමට තරම් ශක්තිය ඇති ශ්‍රද්ධාවක් ඔවුනට ඇති වූ බැවිනි. මනුෂ්‍යයන් තමන් ඇලුම් කරන අඹුදරුවන් නිසා වස්තුව නිසා නො විඳිනා දුකක් නැත. සමහර විට ඒවා රැක ගැනීමට ඔවුහු ජීවිතය ද පරිත්‍යාග කරති. දිවි නැසෙතත් ඔවුහු ඒවා ගැන ආශාව නො හරිති. එය තෘෂ්ණාවේ බලය ය. එපමණ බලයක් ඇති දීර්ඝකාලයක පටන් සත්ත්වසන්තානයෙහි පැවත එන ඒ තෘෂ්ණාව සැණෙකින් නැසීමට සමත්වන ඒ ශ්‍රද්ධාව සුළු බලයකැයි නො සිතිය යුතු ය. එය මහා බලයෙකි.

ඒ මහත් වූ ශ්‍රද්ධා බලය ඉක්මණින් ඇති වන්නේ සමහර කෙනකුට පමණකි. අන්‍යයන් විසින් දහම් ඇසීමෙන් ද, දහම් පොත පත ඉගෙනීමෙන් ද, කියවීමෙන් ද, ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙන් ද ක්‍ර‍මයෙන් ඇති කර ගත යුතුය. විරිය - සති - සමාධි - පඤ්ඤා යන මොවුන්ගේ බල භාවය ද සද්ධා බලය අනුව තේරුම් ගත යුතු ය. එක් බලයකුදු නැති තැනැත්තාට බල ධර්මයක් ඇති කර ගැනීම දුෂ්කර ය. එක් බලයක් ඇති කර ගත් තැනැත්තා හට ඉතිරි බල සතර ඇති කර ගැනීම පහසු ය.

කවර ආකාරයකින් හෝ දුබල සැදැහැයෙන් මෙකල සසුන් ගත වී සිටින බොහෝ කුලපුත්‍රයෝ ද පන්සල් පිළිබඳ වූ ද දායක - කාරක - ගෝල - බාලයන් පිළිබඳ වූ ද ඉන්ද්‍රිය පිනවීම පිළිබඳ වූ ද ආශාව නමැති මහෝඝයට යට වී ආර්‍ය්‍යවංශධර්‍මයෙන් බැහැරව වෙසෙති. ඔවුනට එයින් ගොඩ ඒමට ඇත්තා වූ එක ම උපාය තම තමන් තුළ බලධර්‍ම ඇති කර ගැනීම ය. කෙලෙස්මරහු ගේ දත් අතරට හසු වී සිටින ගිහිභවතුන්ට එයින් මිදීමට ඇති උපාය ද බලධර්‍ම ඇති කර ගැනීම ය. කවර ආකාරයකින් හෝ කියන ලද බලධර්මයන් ඇති කරගෙන තම තමන් ගේ සිත් තුළට වැදහිඳ තම තමන්ට නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ දුඃඛයන් හා අපාය දුඃඛය ද ගෙන දෙන මාරසේනා පරදවා පලවා හැර නිවන් සුවය ලැබීමට සැම දෙනා ම උත්සාහ කෙරෙත්වා!

සප්ත බෝධ්‍යංගයෝ

“සත්තිමෙ භික්ඛවෙ, බොජ්ඣංගා භාවිතා බහුලීකතා අපාරාපාරංගමනාය සංවත්තන්ති. කතමෙ සත්ත? සති- සම්බොජ්ඣංගෝ, ධම්මවිචයසම්බොජ්ඣංගෝ, විරියසම්බොජ්ඣංගෝ, පීතිසම්බොජ්ඣංගෝ, පස්සද්ධි සම්බොජ්ඣංගෝ, සමාධි- සම්බොජ්ඣංගෝ උපෙක්ඛා සම්බොජ්ඣංගෝ, ඉමෙ ඛො භික්ඛවෙ! සත්ත බොජ්ඣංගා භාවිතා බහුලීකතා අපාරාපාරංගමනාය සංවත්තන්ති.”

තේරුම :-

“මහණෙනි, වඩන ලද්දා වූ නැවත නැවත වඩන ලද්දා වූ මේ බෝධ්‍යංගයෝ සත් දෙන සංසාරය නමැති මෙතෙරින් නිවන නමැති පරතෙරට යාම පිණිස පවත්නාහු ය. කවර සත් දෙනෙක් ද යත්? සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීතිසම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි- සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොහුය. මහණෙනි, වඩන ලද්දා වූ නැවත නැවත වඩන ලද්දා වූ මේ බෝධ්‍යංගයෝ සත්දෙන සංසාරය නමැති මෙතෙරින් නිවන් නමැති පරතෙරට යාම පිණිස පවත්නාහ.”

මේ දේශනයෙන් සංසාරයෙන් එතරවීමට හේතු වන සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන ධර්ම සත බෝධ්‍යංගයෝ ය යි දැක් වූ සේක.

බොජ්ඣංග යනු බෝධි අංග යන වචන දෙක එක් වී සැදුණු වචනයකි. බෝධි යන වචනයෙහි අර්ථ කීපයක් ඇත්තේ ය. ඒවායින් මෙතැනට ගැලපෙන අර්ථ ඇත්තේ දෙකකි. එනම් “නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ කරන ධර්ම සමූහය ය, නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ කරන පුද්ගලයා ය” යන අර්ථ දෙක ය. නිවන් සොයන්නා වූ පින්වතුන්ට ඒ නිවන ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දක්නා වූ සත්ත්වයා නිවනට පමුණුවන්නා වූ ලෝකෝත්තර මාර්ගය උපදවා ගැනීමට බාධක කරුණු බොහෝ ඇත්තේ ය.

ස්ත්‍යානමිද්ධ සංඛ්‍යාත යෝගකර්මයේ දී සිත හැකිළෙන ස්වභාවය ය, ඖද්ධත්‍ය නම් වූ සිත තැන්පත් නො වන ස්වභාවය ය, ලෝභාදි ක්ලේශයන් ගේ වශයෙන් සසර නැවතී සිටින ස්වභාවය ය, සසර නැවතීමේ උත්සාහයක් වශයෙන් පින් පව් කරන ස්වභාවය ය, කාමසුඛල්ලිකානුයෝගය ය, අත්තකිලමථානුයෝගය ය, උච්ඡේද දෘෂ්ටිය ය, ශාස්වත දෘෂ්ටිය ය යන මේවා ඒවායින් සමහරෙකි.

ආලෝකයේ ඇති නුවුව හොත් අන්ධකාරය දුරු නොවන්නාක් මෙන් සත්ත්වසන්තානයෙහි පවත්නා වූ නිර්වාණ ප්‍ර‍තිවේධයට බාධක වූ ඉහත කී ස්ත්‍යානමිද්ධාදි ධර්මයෝ ඒවාට සර්වාකාරයෙන් ප්‍ර‍තිපක්ෂ වූ ඒවා දුරු කරන්නා වූ ධර්මයන් සත්ත්වසන්තානයෙහි ඇති නුවුව හොත් නො දුරු වන්නාහ. බොජ්ඣංග නාමයෙන් හඳුන්වන්නේ නිර්වාණ ප්‍ර‍තිවේධයට බාධක ධර්මයන් දුරු කරන, නසන ධර්ම සතෙකි. ඒවායේ නම් ඉහත දැක්විණ. සති ධම්මවිචයාදි ඒ ධර්මයෝ සත් දෙන නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ කිරීමට උපකාර වන බැවින් බෝධි නම් වූ ධර්ම සමූහයේ අංගයෝ ය’ යන අර්ථයෙන් ද, “නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ කරන යෝගාවචරයා ගේ අංගයෝ ය” යන අර්ථයෙන් ද බොජ්ඣංග නම් වෙති.

මේ බෝධ්‍යංගධර්ම සත සක්විති රජුන්ට ඇති රත්න සත මෙන් බුදුසස්නෙහි ඇත්තා වූ රත්න සතක් බව “තථාගතස්ස භික්ඛවෙ, පාතුභාවා අරහතො සම්මා සම්බුද්ධස්ස සත්තන්නං බොජ්ඣංගරතනානං පාතුභාවො හොති” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. එසේ ම “සත්තන්නං ඛො භික්ඛවෙ, බොජ්ඣංග රතනානං භාවිතත්තා බහුලීකතත්තා අදලිද්දොති වුච්චති” යනුවෙන් මේ බෝධ්‍යාංග රත්න සත භාවිත තැනැත්තා දිළින්දකු නො වන බව ද වදාරා තිබේ. මේ බෝධ්‍යංග ධර්ම ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයන් ලැබීමට හා ලෞකික රූපාවචර අරූපාවචර ධ්‍යාන ලැබීමට ද තිබිය යුතු ය. එ බැවින් ලෝකෝත්තර මාර්ග ඵලධර්මයන් ලැබීම සඳහා යෝග කරන්නෝ ය, ලෞකික ධ්‍යාන සඳහා භාවනා කරන්නෝ ය යන සෑම දෙනා විසින් ම බෝධ්‍යංග වැඩිය යුතු ය. බෝධ්‍යංග ධර්ම ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු ය.

සියලු ම යෝගාවචරයන් විසින් බෝධ්‍යංග ධර්ම හැඳිනගත යුතු ය. ඒවායේ නිඃශ්‍ර‍ය දත යුතු ය. වඩන සැටි දත යුතු ය. බෝධ්‍යංගයන් ගේ වැඩීමට හේතු වන ධර්ම දත යුතු ය. ඒ ඒ බෝධ්‍යංගයන් වැඩිය යුතු නො වැඩිය යුතු කාල දත යුතු ය.

බෝධ්‍යංගයන්ගෙන් සතිසම්බොජ්ඣංගය යනු ඉහත සතිපට්ඨාන කථාවෙහි දැක්වුණු සිහිය ය. සත්ත්වයා ගේ චිත්ත පරම්පරාවට පාප පක්ෂයට වැටී පවතින්නට නො දී එය පවතින වැඩෙන තැන් වූ කාය වේදනා චිත්ත ධර්ම යන ආරම්මණයන් සිතට මතු කරදීම් වශයෙන් සිත ඒවායේ පිහිටවීම් වශයෙන් කුශල පක්ෂයෙහි ගමන් කිරීම සිදු කරවන්නා වූ ධර්මය සතිසම්බොජ්ඣංගය ය. එය කාය වේදනා චිත්ත ධර්ම සංඛ්‍යාත ස්වකීය විෂයයන්හි අනුක්‍ර‍මයෙන් වැඩී ප්‍ර‍මාද පක්ෂයට අයත් සියල්ල ක්‍ර‍මයෙන් නැති කොට අප්‍ර‍මාද පක්ෂය සම්පූර්ණ කොට අවසානයේ දී අර්හත්මාර්ග ඥානය උපදවන්නේ ය.

“සති” යන පාළි වචනය වෙනුවට භාවිත කරන සිංහල වචනය “සිහිය” යනු යි. එහෙත් සිංහල සිහිය යන වචනයෙන් සති යන පාළි වචනයෙන් අදහස් කරන අර්ථයට වැඩි දෙයක් කියවේ. එ බැවින් මේ බෝධිපාක්ෂික ස්මෘතිය හැඳින්වීමට සිහිය යන වචනයට විශේෂණයක් යොදා මාර්ගඥානයට හේතු වන සිහිය ය කියා ව්‍යවහාර කිරීම යෝග්‍ය ය. නිවන් ලබා දෙන සිහිය යි කිව ද යහපති. “ලෝකෝත්තර මාර්ගඥානය ලැබීමට උපකාර වන සිහිය, නිවන් ලැබීමට උපකාර වන සිහිය සතිසම්බොජ්ඣංගය’ යි දත යුතු ය. මේ සිහියට නිවන් ලබා දෙන සිහිය යයි කියන ලදුයේ එයින් ලබා දෙන උසස් දෙය අනුව ය. කාමාවචර රූපාවචර අරූපාවචර කුශලයන් හා භවභෝග සම්පත් ලැබීමට ද මේ සිහිය උපකාරක ය. එ බැවින් මේ නිවන් ලබා දීමට කලින් ඒවා ද ලබා දෙන බව දත යුතු ය.

ධම්මවිචය සම්බොජ්ඣංගය යනු සන්තති ඝනය, සමූහ ඝනය, කෘත්‍ය ඝනය, ආරම්මණ ඝනය යන ඝනසතරින් වැසී සත්ත්ව පුද්ගල ආත්මාදි වශයෙන් පෙනී සිටින ආධ්‍යාත්මික බාහ්‍ය පරමාර්ථ රූපාරූප ධර්මයන් ප්‍ර‍ඥප්තිය බිඳ හැර, පෘථිවි ස්පර්ශාදි වශයෙන් ද, ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතීත්‍යසමුප්පාදාදි වශයෙන් ද, අනිත්‍ය දුඃඛ අනාත්මාදි වශයෙන් ද නන් අයුරින් පිරිසිඳ දැනීමෙහි දැකීමෙහි සමත් වූ තියුණු නුවණ ය. එය විදර්ශනා භූමිය වූ ස්කන්ධාදි ධර්ම විෂයෙහි ක්‍ර‍යෙන් වැඩී සකල සම්මෝහයන් දුරු කොට අවසානයේ අර්හත්මාර්ගඥානය වන්නේ ය.

විරිය සම්බොජ්ඣංගය යනු ඉහත සම්‍යක් ප්‍ර‍ධාන කථාවෙහි දැක්වුණු යෝගකර්මයේ දී නො පසු බැස එය කර ගෙන යා හැකි පරිදි සිතට අනුබල දෙන්නා වූ බලාපොරොත්තු තැනට පැමිණෙන තුරු සිත ඉදිරියට යවන්නා වූ බලවත් වීර්‍ය්‍යය ය. එය අනුක්‍ර‍මයෙන් උපන් පව් දුරු කිරීමාදි කෘත්‍ය සතර සිදු කිරීම් වශයෙන් වැඩී වීර්‍ය්‍යයට ප්‍ර‍තිපක්ෂ ක්ලේශයන් දුරු කොට අවසානයේ දී බෝධි නම් වූ ලෝකෝත්තර මාර්ග ඥානයට ඉපදීමට සහාය වන්නේ ය.

පීති සම්බොජ්ඣංගය යනු යෝගක්‍රියාවේ දී යෝගාවචරයාගේ සිත පිනවන්නා වූ ප්‍රීතිය ය. කලක් කළ යුතු වන යම් කිසිවක් කිරීමේ දී කරන්නහු ගේ සිතට ප්‍රීතියක් ඇති නො වත හොත් ඔහුට එය කර ගෙන යා නො හැකි ය. භාවනාවෙහි යෙදී ධ්‍යානයක් හෝ මාර්ග ඵලයක් උපදවා ගැනීම බොහෝ කල් ගත වන වැඩකි. එබැවින් එය මැනවින් කර ගෙන යා හැකි වීමට ඒ කටයුත්තෙහි ප්‍රීතියක් තිබිය යුතු ම ය. ප්‍රීතිය සම්බෝධයට අංගයක් වන්නේ එහෙයිනි. ඒ ප්‍රීතිය සිත පමණක් නො ව යෝගාවචරයන්ගේ කය ද පිනවන්නේ ය. සුදුසු සේ ආහාර පානාදිය නො ලබාත් යෝගාවචරයනට නිරෝගී ව ජීවත් විය හැකි වන්නේ ද මේ ප්‍රීතිය නිසා ය.

යෝග කර්මය ගැන ප්‍රීතිය නො ලබන්නා වූ යෝගාවචරයන්ට අරණ්‍යාදියෙහි වෙසෙමින් අල්ප ආහාර පානයෙන් යැපෙමින් වැඩි කල් භාවනාවෙහි යෙදිය හැකි නො වන්නේ ය. ප්‍රීතිය නො ලබන තැනැත්තා භාවනාවෙහි යෙදුණේ ද පසු බැස බැස ම එය කරන්නේ ය. එබැවින් ඔහුට යෝග කර්මය සඵල නො වන්නේ ය. මේ ප්‍රීතිය උපන් පාපයන් දුරු කිරීම් ආදි කෘත්‍ය සතර ගේ වශයෙන් කුශල පක්ෂයෙහි වැඩී භාවනාවෙහි නො සතුටු වූ අරති නම් වූ සූක්ෂ්ම ද්වේෂය හා ස්ත්‍යාන මිද්ධයන් ද ඒවාට පක්ෂ සකල ක්ලේශයන් ද දුරු කොට භාවනාරාමතා සංඛ්‍යාත ආර්‍ය්‍යවංශ ධර්මය සපුරා අවසානයේ දී සම්බෝධි සංඛ්‍යාත ලෝකෝත්තර මාර්ගඥානයට සහාය වන්නේ ය.

පස්සද්ධි සම්බොජ්ඣංගය යනු භාවනා කිරීමේ දී යෝගාවචරයන්ගේ කායචිත්තද්වයෙහි ඇති වන වෙහෙස හා තැවිල්ල සන්සිඳවන්නා වූ කායපස්සද්ධි චිත්තපස්සද්ධි චෛතසික දෙක ය. සිතේ ප්‍ර‍කෘතිය නිතර එක් අරමුණක නො සිට නානාරම්මණයන් කරා යාම ය. එක ම ඉරියව්වක වැඩි වේලාවක් තැබීමෙන් කයට අමාරුකම් ඇති වන්නාක් මෙන් ඒකාරම්මණයක පැවැත්වීමෙන් සිතට ද අමාරුකම් ඇති වන්නේ ය. සිත වෙහෙසට පත් වන්නේ ය. ඒකාරම්මණයක තබන කල්හි රිසි සේ නානාරම්මණයන් කරා යන්නට නො ලැබීමෙන් සිත සැලෙන්නට වන්නේ ය. සිතෙහි හට ගන්නා ඒ වෙහෙස හා සිතෙහි සැලීම හා තැවීම කායචිත්ත පස්සද්ධීන් විසින් සන්සිඳවනු ලැබේ. කාය චිත්තයන්ගේ සන්සිඳීම ම පස්සද්ධිසම්බොජ්ඣංගයය යි කිව ද වරද නැත. සිතෙහි ඒ වෙහෙස හා සැලෙන දැවෙන ස්වභාවය ඇති තාක් ඒ පුද්ගලයාට ප්‍ර‍ථමධ්‍යානාදි උසස් උසස් සමාධීහු ද ඥානයෝ ද නො ලැබෙත්. ඒවා ලැබීමට සිත සන්සිඳිය යුතු ම ය. එබැවින් පස්සද්ධිය ද සම්බෝධියේ අංගයක් වේ. එය උපන් පාපයන් දුරු කිරීම් ආදි කෘත්‍ය විෂයයෙහි අනුක්‍ර‍මයෙන් වැඩී අවසානයේ දී ලෝකෝත්තර මාර්ග ඥානය ඉපදවීමට සහාය වන්නේ ය.

සමාධි සම්බොජ්ඣංගය යනු යෝගාවචරයාගේ සිත නානාරම්මණයෙහි වික්ෂිප්ත වන්නට නොදී නැවත නැවත එක ආරම්මණයක පිහිට වන්නා වූ ද, ආරම්මණයෙහි දැඩි කොට පිහිටවන්නා වූ ද, ඉහත සමාධින්ද්‍රිය සමාධිබල නාමයෙන් දැක්වුණු සමාධිය ය. එය අනුක්‍ර‍මයෙන් වැඩී සිත වික්ෂේප කරන කාමච්ඡන්දාදි ක්ලේශයන් දුරු කොට අවසානයේ දී ලෝකෝත්තර මාර්ග ඥානය ඉපදීමට සහාය වන්නේ ය.

උපෙක්ඛා සම්බොජ්ඣංගය යනු යෝගාවචරයා ගේ චිත්ත සන්තානය අලස බවට පැමිණීමට හෙවත් හැකිළෙන්නට පසු බසින්නට නො දී සැලෙන්නට නො දී භාවනා කෘත්‍යයේ දී සිත සම ව තබන්නා වූ තත්‍ර‍මජ්ඣත්තතා නම් වූ චෛතසිකය ය. යෝගාවචරයා ගේ චිත්ත සන්තානයෙහි වීර්‍ය්‍යය හීන වී සමාධිය බලවත් වුව හොත් අලස බව ඇති විය හැකි ය. සමාධිය හීන වී වීර්‍ය්‍යය අධික වුව හොත් එකල්හි උද්ධච්චය ඇති විය හැකි ය. එබැවින් හීන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ බලවත් සමාධිය ද, බලවත් සමාධියෙන් යුක්ත වූ හීන වීර්‍ය්‍යය ද සම්බෝධි නම් වූ ලෝකෝත්තර මාර්ග ඥානය ඇති කිරීමට සමත් නො වෙති. ලෝකෝත්තර ඥානය ඇති වීමට වීර්‍ය්‍ය සමාධි දෙක සම ප්‍ර‍මාණයෙන් තිබිය යුතු ය. එ බැවින් වීර්‍ය්‍ය සමාධි දෙක සම බවට පමුණුවන්නා වූ තත්‍ර‍මජ්ඣත්තතාව හෙවත් උපෙක්ඛාව සම්බෝධියට අංගයක් වේ. ඒ තත්‍ර‍මජ්ඣත්තතාව කාය වේදනාදි විෂයයෙහි අනුක්‍ර‍මයෙන් වැඩී ලීන උද්ධච්ච නම් වූ චිත්තයා ගේ හැකිළෙන බව හා සැලෙන බව ද ඒවා පක්ෂ ක්ලේශයන් ද දුරු කොට සිත සම ව පවත්වා අවසානයේ දී ලොකෝත්තර මාර්ග ඥානය උපදවන්නේ ය.

මෙතෙකින් කරන ලදුයේ එක්තරා ක්‍ර‍මයකින් බෝධ්‍යංග ධර්මයන් හැඳින්වීම ය. තේරුම් ගැනීමට පහසුවනු සඳහා තවත් ක්‍ර‍මයකින් ඒ ධර්ම හඳුන්වනු ලැබේ.

ශමථ භාවනාව කරන්නහු ගේ සිත නානාරම්මණයන් කරා නො ගොස්, කාය කොට්ඨාසාදි භාවනාරම්මණයට ම නැවත නැවත පැමිණෙන්නා වූ ස්වභාවය ද, විදර්ශනා භාවනාව කරන්නහුගේ සිත නානාරම්මණයන් කරා නො ගොස් භාවනාවේ අරමුණ වූ ස්කන්ධාදි ධර්මයන් කරා ම නැවත නැවත පැමිණෙන ස්වභාවය ද නොහොත් භාවනාරම්මණය ම සිතට නැවත නැවත එන ස්වභාවය ද සති සම්බොජ්ඣංගය ය.

ශමථ භාවනාවෙහි දී කායකොට්ඨාසාදිය ද, විදර්ශනා කිරීමේ දී ස්කන්ධාදිය ද හොඳින් වැටහෙන හොඳින් පෙනෙන දැනෙන ස්වභාවය ධම්මවිචය සම්බොජ්ඣංගය ය.

අලස බවක් පසු බැසීමක් නැතිව හොඳින් භාවනාව කළ හැකි බව විරිය සම්බොජ්ඣංගය ය.

භාවනාවෙහි යෙදීමෙහි දී එය පිළිබඳ ව ලබන ආස්වාදය සතුට පීති සම්බොජ්ඣංගය ය.

වෙහෙසක් නැති ව, පීඩාවක් නැති ව, සැපසේ භාවනාව කළ හැකි ස්වභාවය පස්සද්ධි සම්බොජ්ඣංගය ය.

භාවනාරම්මණයෙහි හිත මනා කොට පිහිටන නො විසිරෙන නො සැලෙන ස්වභාවය සමාධි සම්බොජ්ඣංගය ය.

වීර්‍ය්‍ය සමාධීන් සම කරගෙන නිරුත්සාහයෙන් මෙන් භාවනාව කරගෙන යා හැකි ස්වභාවය උපෙක්ඛා සම්බොජ්ඣංගය ය.

බෝධ්‍යංගයන් ගේ නිඃශ්‍ර‍යධර්ම

සප්තරත්නයන් ලබා ගත් සක්විතිරජුන් විසින් එයින් ලබන ප්‍රීතියට වඩා අතිශයින් උසස් නිරාමිස ප්‍රීති සුඛයක් මෙලොවදී ම ලැබිය හැකි වන්නා වූ පරමෝත්කෘෂ්ට නිර්වාණ සුඛය ලබා දෙන්නා වූ සප්ත බෝධ්‍යංග රත්නයන් ලබනු කැමති, තමා කෙරෙහි ඇති කර ගනු කැමති, සත්පුරුෂයා විසින්, ගොවිත කමින් ධනය උපයන තැනැත්තා විසින් ප්‍ර‍ථමයෙන් බිමක් ලබා ගත යුතු වන්නාක් මෙන් බෝධ්‍යංග වැඩීමට බිම වන්නා වූ ධර්මයන් තමා කෙරෙහි ඇති කර ගත යුතු ය. ශීලය ය, කල්‍යාණ මිත්‍ර සේවනය ය, යෝනිසෝමනසිකාරය ය යන මේ කරුණු යෝගාවචරයා විසින් පළමු කොට ඇති කර ගත යුතු වූ බෝධ්‍යංගයන්ට නිඃශ්‍ර‍ය වන කරුණු ය. එබැවින් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

“සෙය්‍යථාපි භික්ඛවෙ, යෙ කෙචි පාණා චත්තාරො ඉරියාපථෙ කප්පෙන්ති කාලෙන ගමනං කාලෙන නිසජ්ජං, කාලෙන ඨානං කාලෙන සෙය්‍යං, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය, එවමෙතෙ චත්තාරො ඉරියාපථෙ කප්පෙන්ති. එවමෙව ඛො භික්ඛවෙ. භික්ඛු සීලං නිස්සාය සීලෙපතිට්ඨාය සත්ත බොජ්ඣංගෙ භාවෙති. සත්ත බොජ්ඣංගෙ බහුලී කාරොති”

මහණෙනි, කලකට යාම ය, කලකට හිඳීම ය, කලකට සිටීම ය, කලකට නිදීම ය යන සතර ඉරියව් යම්කිසි සත්ත්ව කෙනෙක් පවත්වන්නාහු ද, යම් සේ ඒ සියල්ලෝ ම පෘථිවිය නිසා පෘථිවියෙහි පිහිටා සතර ඉරියව් පවත්වත් ද, එපරිද්දෙන් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබෝධ්‍යංගයන් වඩන්නේ ය” යනු එහි තේරුම යි.

“සූරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බංගමං එතං පුබ්බනිමිත්තං යදිදං අරුණග්ගං එවමෙව ඛො භික්ඛවෙ, සත්තන්නං බොජ්ඣංගානං උප්පාදාය එතං පුබ්බංගමං එතං පුබ්බනිමිත්තං යදිදං කල්‍යාණමිත්තතා, කල්‍යාණමිත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකංඛං සත්තබොජ්ඣංගෙ භාවෙස්සති සත්තබොජ්ඣංගෙ බහුලීකරිස්සතීති.”

“අරුණාලෝකය සූර්‍ය්‍යයා උදා වීමේ පෙරනිමිත්ත වන්නාක් මෙන් කල්‍යාණ මිත්‍ර‍ සේවනය සප්තබෝධ්‍යංගයන් වැඩීමේ පෙර නිමිත්ත වන්නේ ය. සප්තබෝධ්‍යංගයන් වඩනු ඇතය යි බලාපොරොත්තු විය යුත්තේ කල්‍යාණ මිත්‍ර සේවනය ඇතියකු ගැන පමණ ය” යනු එහි අදහස ය.

“සූරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බංගමං එතං පුබ්බනිමිත්තං යදිදං අරුණග්ගං, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො සත්තන්නං බොජ්ඣංගානං උප්පාදාය එතං පුබ්බංගමං එතං පුබ්බනිමිත්තං යදිදං යොනිසොමනසිකාරො යොනිසොමනිසිකාර සම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකංඛං සත්තබොජ්ඣංගෙ භාවෙස්සති සත්ත බොජ්ඣංගෙ බහුලීකරිස්සතීති.”

“අරුණාලෝකය සූර්‍ය්‍යයා උදාවීමේ පෙර නිමිත්ත වන්නාක් මෙන් යෝනිසෝමනසිකාරය සප්තබෝධ්‍යංගයන් ඉපදීමේ පෙර නිමිත්ත වන්නේ ය. සප්තබෝධ්‍යංගයන් උපදවනු ඇතය යි බලාපොරොත්තු විය යුත්තේ යෝනිසෝමනිසිකාරය ඇතියකු ගැන පමණ ය” යනු එහි අදහස ය.

බෝධ්‍යංග වැඩීමේ ආකාරය

බෝධ්‍යංග වැඩීම කළ යුත්තේ ද ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම් වශයෙනි. භාවනා සිද්ධියෙන් බෝධ්‍යංග සිද්ධිය වේ. බෝධ්‍යංග සිද්ධියෙන් භාවනා සිද්ධිය වේ. කර්මස්ථාන දායක ආචාර්‍ය්‍යවරයකු නො ලබන කල්හි අන් ක්‍ර‍මයකින් හෝ කර්මස්ථානයක් හොඳින් උග තයුතු ය. ඉක්බිති විවේකස්ථානයකට එළඹ තමා භාවනා කරන වේලාව පැමිණි කල්හි කාම විතර්කාදියෙන් තොර ව සිත ඒ ආරම්මණයෙහි ම පිහිටුවා ගෙන නියමිත කාලයෙහි භාවනාවෙහි යෙදිය යුතු ය. එසේ කරන කල්හි එයින් සති සම්බොජ්ඣංගය වැඩෙන්නේ ය. එය සති සම්බොජ්ඣංගය වඩන සැටි ය.

එසේ භාවනා කරන තැනැත්තා විසින් කේශාදි කොට්ඨාසයන් ගැන භාවනා කරන්නේ නම්, ඒ කේශාදීන් ගේ පැහැ සටහන් ආදිය හොඳින් වැටහෙන සැටියට සිතිය යුතු ය. අන්‍ය ශමථ භාවනාවක් කරන්නේ නම්, භාවනාරම්මණය ඇසට පෙනෙන්නාක් මෙන් හොඳින් පැහැදිලි ව සිතට පෙනෙන පරිදි ඒ අරමුණ ගැන සිතිය යුතු ය. විදර්ශනා කරන්නේ නම් නාමරූප ධර්මයන් පැහැදිලි ලෙස පෙනෙන සේ ද අනිත්‍යාදි ලක්ෂණයන් පැහැදිලි ලෙස පෙනෙන සේ ද සිතිය යුතු ය. භාවනා කළ යුතු ය. භාවනාරම්මණය පැහැදිලි වන සේ සිතමින් භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයාට එයින් ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩෙන්නේ ය. එසේ භාවනා කිරීම ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීම ය.

එසේ භාවනා කරන්නා වූ තැනැත්තා හට ඒ ඒ අවස්ථාවල දී ශීතයෙන් ද, උෂ්ණයෙන් ද, සාගින්නෙන් ද, පිපාසාවෙන් ද, මැසි මදුරු ආදි සතුන්ගෙන් ද, ශාරීරික බාධාවලින් ද, සතුරන්ගෙන් ද, තවත් සමහර කරුණුවලින් ද කරදර පැමිණිය හැකි ය. ඔහු විසින් කිනම් කරදරයක් නිසාවත් තමාගේ භාවනාව නො හැර දමා කර ගෙන යා යුතු ය. නො පසු බැස නො නවත්වා භාවනාව කරගෙන යාම සම්බන්ධයෙන් වීර්‍ය්‍යය කරන කල්හි ඔහුට විරියසම්බොජ්ඣංගය වැඩේ. ඔහු නොපසු බැස භාවනාව කරගෙන යාම විරිය සම්බොජ්ඣංගය වැඩීම ය.

සති සම්බොජ්ඣංගයා ගේ වශයෙන් සිත භාවනාවෙහි පිහිටන්නා වූ ධම්මවිචය සම්බොජ්ඣංගයා ගේ වශයෙන් භාවනාරම්මණය මනා කොට දක්නා වූ විරිය සම්බොජ්ඣංගයා ගේ වශයෙන් නො පසු බැස භාවනාව කර ගෙන යන්නා වූ යෝගාවචරයාට තමා ගේ භාවනාව සම්බන්ධයෙන් නිරාමිෂ ප්‍රීතිය ඇති වන්නේ ය. ඒ ප්‍රීතියෙන් පින පිනා භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයා හට පීතිසම්බොජ්ඣංගය වැඩෙන්නේ ය. නිරාමිෂ ප්‍රීතියෙන් භාවනාවෙහි යෙදීම පීතිසම්බොජ්ඣංගය වැඩීම ය.

භාවනා කරන අතර ද චිත්ත - චෛතසිකයන් නො සන්සුන් බවට පමුණුවන ඖද්ධත්‍යාදි ක්ලේශයන් ගෙන් යුක්ත සිත් ද ඇතිවීම ස්වභාවයකි. ඒවා ඇති වීම නිසා භාවනා කරන කාමාවචර කුශල චිත්තයා ගේ සන්සුන් බව ද හීන වේ. යෝගාවචරයා විසින් ප්‍රීතිය පහළ කරගෙන ප්‍රීතියෙන් භාවනා කරන කල්හි අතර අතර ඖද්ධත්‍යාදි ක්ලේශයන් ගෙන් යුක්ත සිත් පහළ වීම මඳ වේ. එයින් යෝගාවචරයා ගේ චිත්ත චෛතසිකයෝ සන්සිදෙති, පරම සුන්දර ශීතල භාවයට පැමිණෙති. ඒවායේ ගුණයෙන් යෝගාවචරයාගේ ශරීරය ද සන්සිඳී සිසිල් බවට පැමිණේ. ශරීරයට සනීපයක් ඇති වෙයි. එසේ සන්සිඳුණා වූ සිත පවත්වා ගෙන භාවනාවෙහි යෙදීම පස්සද්ධිසම්බොජ්ඣංගය වැඩීම ය.

“පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති” යි වදාළ පරිදි පස්සද්ධිසම්බොජ්ඣංගයාගේ වශයෙන් සිත කය සන්සිඳවා ගෙන භාවනා කරන්නා වූ යෝගාවචරයා හට සන්සිඳීමෙන් වන්නා වූ සුව ය නිසා පෙරට වඩා බලවත් වූ සමාධිය ඇති වේ. ඒ සමාධියෙන් භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයා හට සමාධිය වැඩේ. කායචිත්තසුඛය පදනම් කොට ඇති සමාධියෙහි පිහිටා භාවනාවෙහි යෙදීම සමාධි සම්බොජ්ඣංගය වැඩීම ය. ඒ සමාධිය ප්‍ර‍ථමයෙන් ඇති කර ගැනීමත් සමාධි සම්බොජ්ඣංගය වැඩීම ම ය.

භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයා හට සති සම්බොජ්ඣංගය දුබල වුවහොත් සිත කර්මස්ථානයෙන් බැහැරට යන්නට පටන් ගනී. සිහිය තබා ගෙන සිටීමෙන් යෝගාවචරයාට වෙහෙස ඇති වේ. ධම්මවිචයසම්බොජ්ඣංගය දුබල වුවහොත් සිත කමටහනෙහි ම පිහිටියේ ද අරමුණ හොඳින් නො වැටහෙයි. භාවනාරම්මණය ප්‍ර‍කට නොවෙයි. භාවනාරම්මණය ප්‍ර‍කට කර ගැනීමට උත්සාහ කරන කල්හි වෙහෙස නිවා භාවනාව කරන්නට අපහසු වෙයි.

විරියසම්බොජ්ඣංගය දුබල වන කල්හි අලස බව හා නිදිමත ඇති වීමෙන් භාවනාවට බාධා ඇති වේ. විරියසම්බොජ්ඣංගය උත්සන්න වූ කල්හි එයින් උද්ධච්චය ඇති වීමෙන් භාවනාවට බාධා වේ. පීතිසම්බොජ්ඣංගය හීන කල්හි භාවනා කිරීමේ උත්සාහය හීන වේ. එය උත්සන්න වීමෙන් උද්ධච්චයාගේ වශයෙන් සිත සැලෙයි. පස්සද්ධිසම්බොජ්ඣංගය හීන වූ කල්හි කාය චිත්ත පීඩා නිසා භාවනාවට බාධා වේ. එය උත්සන්න වූ කල්හි අලස බව ඇති වීමෙන් භාවනාවට බාධා වේ.

සමාධිසම්බොජ්ඣංගය හීන වන කල්හි උද්ධච්චයාගේ වශයෙන් සිත සැලෙන්නට වේ. එය උත්සන්න වූ කල්හි ස්ථ්‍යානමිද්ධයන් ඇති වී භාවනාවට බාධා වේ. බොජ්ඣංග විෂමතාවෙන් වන බාධාවන් නැති කොට ඒවා සමත්වයට පමුණුවා ගෙන යෝග කර්මය හැඩගස්සා ගැනීමට යෝගාවචරයකුට දීර්ඝ කාලයක් ගත වේ. බොජ්ඣංගයන් සම භාවයට පමුණුවා ගැනීම පිණිස බොජ්ඣංග සම වන සැටියට භාවනාවෙහි යෙදීම උපෙක්ඛාසම්බොජ්ඣංගය වැඩීම ය. සකල බෝධ්‍යංගයන් ම බලයෙන් සමත්වයට පමුණුවන, උපේක්ෂාසම්බෝධ්‍යංගය වැඩුණු කල්හි භාවනා කර්මය සුදුසු සේ පිළියෙල කිරීම සම්බන්ධයෙන් උත්සාහයක් කරන්නට සිදු නො වේ. නිරුත්සාහයෙන් කරන්නාක් මෙන් භාවනාව මනා කොට සිදු වේ. ඒ තත්ත්වයට පැමිණි කල්හි එය එසේ ම පවත්වා ගනිමින් භාවනාවෙහි යෙදීම ද උපෙක්ඛාසම්බොජ්ඣංගය වැඩීම ය.

බෝධ්‍යංගයන් ගෙන් සතිසම්බොජ්ඣංගයේ කෘත්‍යය කමටහනෙන් බැහැරට යන්නට නො දී සිත පාලනය කිරීම ය. ධම්මවිචය සම්බොජ්ඣංගයේ කෘත්‍යය කමටහන ප්‍ර‍කට කර දීම ය. විරියසම්බොජ්ඣංගයේ කෘත්‍යය අත නො හැර භාවනාව කරගෙන යාමට සිතට රුකුල් දීම ය. පීතිසම්බොජ්ඣංගයේ කෘත්‍යය භාවනා කර්මයෙහි සිත පිනවීම ය. පස්සද්ධිසම්බොජ්ඣංගයේ කෘත්‍යය කාය චිත්ත පීඩා සන්සිඳවීම ය. සමාධි සම්බොජ්ඣංගයේ කෘත්‍යය භාවනාරම්මණයෙහි සිත නො සැලෙන සේ පිහිටවීම ය. උපෙක්ඛාසම්බොජ්ඣංගයේ කෘත්‍යය බෝධ්‍යංගයන් සමත්වයට පැමිණවීම ය.

සකල බෝධ්‍යංගයන් වැඩී සමත්වයෙන් සිටි කල්හි භාවනවෙහි යෙදෙන යෝගාවචරයා හට චක්‍ර‍රත්නය, හස්ති රත්නය, අස්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, පරිණායකරත්නය යන රත්නයන් ලබා මුළු ලොවට ම රජ ව සිටින සක්විති රජකු එයින් ලබන ප්‍රීතියට සුවයට වඩා මහත් වූ ප්‍රීතියක් සුවයක් භාවනාව නිසා ලැබෙන්නේ ය. ඒ අවස්ථාවෙහි ඇත්තා වූ බෝධිපාක්ෂික ධර්මයන්ගේ රසය ඉතා උසස් ය. “සබ්බං රසං ධම්මරසො ජිනාති” යි වදාරා තිබෙන්නේ ඒ රසය සඳහා ය.

“සුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්තවිත්තස්ස භික්ඛුනො,

අමානුසී රතී හොති සම්මා ධම්මං විපස්සතො”

යනු වදාරා තිබෙන්නේ ද ඒ අවස්ථාවෙහි යෝගාවචරයන්ට ලැබෙන ප්‍රීතියේ හා සුවයේ මහත් බව නිසා ය.

සති සම්බොජ්ඣංගය ඇතිවීමේ හේතු

“සෙය්‍යථාපි භික්ඛවෙ, අයං කායො ආහාරට්ඨිතිකො ආහාරං පටිච්ච තිට්ඨති. අනාහාරො නො තිට්ඨති. එවමෙව ඛො භික්ඛවෙ, සත්තබොජ්ඣංගා ආහාරට්ඨිතිකා ආහාරං පටිච්ච තිට්ඨන්ති, අනාහාරා නො තිට්ඨන්ති. කො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා සති සම්බොජ්ඣංගස්ස උප්පාදාය උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි භික්ඛවේ, සතිසම්බොජ්ඣංගට්ඨානියා ධම්මා තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣංගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරියා.

තේරුම :-

මහණෙනි, ආහාරය නිසා පවත්නා වූ මේ කය යම් සේ ආහාරය නිසා පවතී ද, ආහාරයෙන් තොර ව නො පවතී ද, මහණෙනි, එපරිද්දෙන් ම ආහාරය නිසා පවත්නා වූ මේ සප්ත බෝධ්‍යාංගයෝ ආහාරය නිසා පවතිත්. ආහාරයෙන් තොරව නො පවතිත්. මහණෙනි, නූපන් සතිසම්බොජ්ඣංගයේ ඉපදීමටත් උපන් සතිසම්බොජ්ඣංගයේ වැඩීමටත් සම්පූර්ණවීමටත් ආහාරය කවරේ ද? මහණෙනි, සතිසම්බොජ්ඣංගයේ උත්පත්තියට හේතු වන ධර්මයෝ ඇතහ. ඒ ධර්මයන් කෙරෙහි කාරණානුකූල ව මෙනෙහි කිරීම, බොහෝ කොට පැවැත්වීම නූපන් සතිසම්බොජ්ඣංගයේ ඉපදීමට ද උපන් සතිසම්බොජ්ඣංගයේ වැඩීමට හා සම්පූර්ණ වීමට ද ආහාරය වන්නේ ය.” යනුයි.

මෙයින් සතිසම්බොජ්ඣංගයට හේතු වන ධර්ම සම්බන්ධයෙන් බොහෝ කොට කාරණානුකූල ව සිතීම සතිසම්බොජ්ඣංගයේ ඉපදීමට හා වැඩීමට හේතුව බව දැක්විණ. “තත්ථ සතියෙව සතිසම්බොජ්ඣංගට්ඨානියා ධම්මා” යි සිහිය ම සති සම්බොජ්ඣංගයේ හේතුවය යි අටුවාවෙහි දක්වා තිබේ. යම් කිසිවක් පිළිබඳ ව වරක් ඇති වූ සිහිය නිසා පසු ව ඒ දෙය සිහි වේ. පාඩම් කිරීමය යි කියනුයේ ද යම් කිසිවක් නැවත නැවත සිහි කිරීම ය. පාඩම් වීම ය යි කියනුයේ ඒ සිහි කිරීමේ බලයෙන් ඒ දෙය නැවත සිහි කිරීමේ බලය ලැබීම ය. පළමු පළමු ඇති වූ සිහිය ම පසු පසු ඇති වන සිහියට ප්‍ර‍ධාන හේතුව බව මේ කාරණයෙන් දත හැකි ය. ඒ සිහිය පිළිබඳ කාරණානුකූලව මෙනෙහි කිරීම ය යනු “සිහිය සෑම කල්හි ම වුවමනා දෙයකි. සිහියෙන් තොරවීම මහා හානියකි. සිහියෙන් තොර වූවහුට නිවන් නො ලැබිය හැකි ය” යනාදීන් සිහියෙහි අනුසස් හා නො සිහියෙහි ආදීනවය සිතීම ය.

“චත්තාරො ධම්මා සතිසම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති, සතිසම්පජඤ්ඤං, මුට්ඨස්සතිපුග්ගල පරිවජ්ජනතා, උපට්ඨිතසතිපුග්ගල සෙවනතා, තදධිමුත්තතා” යි.

අටුවාවෙහි ද සතිසම්බොජ්ඣංගයට හේතු සතරක් දක්වා තිබේ. ඒ සතර නම් (1) සිහිනුවණ ය, (2) සිහියෙන් තොර පුද්ගලයන් වර්ජනය කරන බවය, (3) සිහි ඇතියවුන් සේවනය කරන බවය (4) සතිසම්බොජ්ඣංගයට නැමුණු හැරුණු බර වුණු සිත් ඇති බව ය යන මොහු ය.

සතිසම්බොජ්ඣංගයයි කියනුයේ නුවණින් යුක්ත වූ බලවත් සිහියට ය. නුවණින් තොර වූ සිහිය දුබල ය. ඒ දුබල සිහිය එබඳු සිහිය ම ඇති කිරීමට මිස, සම්බෝධිය ඇති කිරීමෙහි සමත් වූ බලවත් සිහිය ඇති කිරීමට සමත් නො වේ. සම්බොජ්ඣංගය වන බලවත් සිහිය උසස් සිහිය ඇති කිරීමට සමත් වන්නේ නුවණින් යුක්ත වූ සිහිය ම ය. එ බැවින් සතිසම්පජඤ්ඤය සතිසම්බොජ්ඣංගයට හේතුවක් වශයෙන් දක්වන ලදි.

ලෝකයෙහි උන්මත්තකයන්ට හා මූර්ච්ඡා වූවන්ට සිහි නැත්තෝ ය යි කියනු ලැබේ. මේ බුදුසස්නෙහි සිහි නැත්තෝ ය යි කියනු ලබනුවෝ ඔවුහු ම නො වෙති. වස්තුව කෙරෙහි ලොල් ව, අඹුදරුවන් කෙරෙහි ලොල් ව, ඉන්ද්‍රිය පිනවීමෙහි ලොල්ව, පාපයෙහි ඇලී කුශලයෙන් බැහැර ව සිටින පුද්ගලයෝ ද මේ බුදුසස්නෙහි සිහි නැතියවුන් සැටියට ගණන් ගනු ලබන්නෝ ය. ලෝකයෙහි පිස්සුව නැති අය සිහි ඇතියවුන් ලෙස ගණන් ගනු ලැබෙත්. බුදුසස්නෙහි සිහි ඇතියවුන් සැටියට ගණන් ගනු ලබන්නෝ පාපයෙන් වැළකී කුශලයෙහි යෙදෙන්නෝ ය.

ආශ්‍ර‍ය කිරීමෙන් අදහස් බෝවන ස්වභාවයක් තිබේ. පඤ්ච කාමයෙහි ඇලී ගැලී සිටින, පාපයෙහි ඇලී ගැලී සිටින, පුද්ගලයන් භජනය කිරීමෙන් අනිකාට ද ඒ අදහස් බෝවීමෙන් ඒ තත්ත්වයට වැටිය හැකි ය. එ බැවින් එබඳු පුද්ගලයන් වර්ජනය කිරීමෙත්, නිතර සිහියෙන් යුක්ත ව පාපයෙන් වැළකී සිටින සත්පුරුෂයන් සේවනය කිරීමත් සතිසම්බොජ්ඣංගය ඇති වීමට හේතු වේ.

ධම්මවිචය සම්බොජ්ඣංගය ඇතිවීමේ හේතු

“අත්ථි භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා, සාවජ්ජානවජ්ජා ධම්මා, හීනප්පණිතා ධම්මා, කණ්හසුක්කසප්පටිභාගා ධම්මා, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣංගස්ස උප්පාදාය උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරියා

තේරුම :-

“මහණෙනි, කුශලාකුශල ධර්මයෝ ඇතහ, සාවද්‍යානවද්‍ය ධර්මයෝ ඇතහ. හීනප්‍ර‍ණීත ධර්මයෝ ඇතහ. කළු සුදු බඳු වූ පාප පුණ්‍ය ධර්මයෝ ඇතහ. ඒ ධර්මයන් කෙරෙහි කාරණානුකූල ව මෙනෙහි කිරීම බොහෝ කොට පැවැත්වීම නූපන් ධම්මවිචයසම්බොජ්ඣංගයා ගේ ඉපදීමට හා උපන් ධම්මවිචය සම්බොජ්ඣංගයා ගේ වැඩීමට හා සම්පූර්ණවීමට ද හේතු වන්නේ ය.” යනුයි.

“පාපය දුකට හේතුවක්ය, කුශලය දුකින් මිදීමට සැපය ලැබීමට කරුණක් ය, පාපයෙන් සත්ත්වයෝ අපායට යන්නාහ, කුශලයෙන් සුගතියට යන්නාහ” යනාදීන් පින් පව් පිළිබඳව කාරණානුකූල ව සිතීම ධම්මවිචයසම්බොජ්ඣංගයට හේතුවක් බව මෙයින් දැක්විණ. ධම්මවිචයසම්බොජ්ඣංගයට හේතු වශයෙන් තවත් කරුණු සතක් අටුවාවෙහි මෙසේ දැක්වේ.

“අපි ච සත්තධම්මා ධම්මවිචයසම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති. පරිපුච්ඡිකතා, වස්තුවිසදකිරියා, ඉන්ද්‍රියසමත්තපටිපාදනා, දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනා, පඤ්ඤවන්තපුග්ගලසෙවනා, ගම්භිරඤාණ-චරියපච්චවෙක්ඛණා, තදධිමුත්තතාති.

(1) ස්කන්ධාදි ධර්මයන් පිළිබඳ ව ප්‍ර‍ශ්න විචාරන බව ය, (2) ආධ්‍යාත්මික බාහ්‍ය වස්තූන් පිරිසිදු කර ගැනීම ය. (3) ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් සම කර ගැනීම ය. (4) නුවණ නැතියන් වර්ජනය කිරීම ය. (5) නුවණැතියන් සේවනය කිරීම ය, (6) ගැඹුරු වූ ස්කන්ධාදීන්හි පැවති ප්‍ර‍ඥා ප්‍රභේදයන් ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම ය. (7) ධම්මවිචයසම්බොජ්ඣංගයට නැමුණු හැරුණු බර වුණු සිත් ඇති බව ය යන මේ කරුණු සත ධම්මවිචයසම්බොජ්ඣංගයේ හේතූන් බව එයින් දැක්විණ.

ස්කන්ධාදි ගැඹුරු ධර්මයන් ගැන ප්‍ර‍ශ්න ඇසීමත් ඒ ප්‍ර‍ශ්න වලට පිළිතුරු දීමත් පරමාර්ථධර්ම පිළිබඳ වූ ඥානය දියුණු කර ගැනීමට හොඳ ම උපායයෙකි. එසේ කරන්නන්ට ඒ ධර්‍මයන් ගැන සිතන්නට සිදු වීමෙන් ද තමන් දැන සිටින දෙය නොයෙක් අයුරින් අනුන්ට අවබෝධ කරවීමට උත්සාහ කරන්නට වීමෙන් ද නුවණ බොහෝ වැඩේ. එබැවින් එයින් සම්බෝධියට හේතු වන ප්‍ර‍ඥාව වූ ධම්මවිචයසම්බොජ්ඣංගය ඇති වේ. වැඩේ.

ආධ්‍යාත්මික බාහ්‍ය වස්තූන් පිරිසිදු කර ගැනීම ය යන මෙහි ආධ්‍යාත්මික වස්තූහු නම් හිස මුහුණ අත් පා ආදීහු ය. බාහ්‍යවස්තූහු නම් චීවරාදීහු ය. යෝගාවචරයන් විසින් හිසකේ රැවුල් නිය දික් වූ කල්හි ඒවා කපා දමා ශරීරය පිරිසිදු කර ගත යුතු ය. දත් පිරිසිදුව තබා ගත යුතු ය. අත් පා පිරිසිදුව තබා ගත යුතු ය. දිනපතා හෝ සුදුසු දිනවල හෝ ජලස්නානය කොට සකල ශරීරය ම පිරිසිදු කර ගත යුතු ය. ශරීරයේ පිටපැත්ත පමණක් නොව විරේචනය කිරීම් ආදියෙන් කලින් කල ඇතුළ ද පිරිසිදු කර ගත යුතු ය. පාසිවුරු ආදි තමා ගේ පරිභෝග භාණ්ඩ පිරිසිදු ව තබා ගත යුතු ය. වාසය කරන තැන හා ඒ අවට ද පිරිසිදුව තබා ගත යුතු ය.

පිරිසිදු පහනෙහි පිරිසිදු තෙලින් පිරිසිදු පහන් වැටියෙහි දැල්වෙන ගින්න ආලෝකවත් වන්නාක් මෙන් පිරිසිදු වූ ආධ්‍යාත්මික බාහ්‍ය වස්තූන් ඇති තැනැත්තා කෙරෙහි ඇති වන ඥානය පිරිසිදු වෙයි. මල බැඳුණු පහනෙහි කිලිටි තෙලින් කිලිටි පහන් කඩයෙහි දැල්වෙන ගින්න අඳුරු වන්නාක් මෙන් ආධ්‍යාත්මික බාහ්‍ය වස්තූන් අපරිශුද්ධ පුද්ගලයාගේ සන්තානයෙහි උපදනා ඥානය ද දුබල ය. අපරිශුද්ධ ඥානය ධම්මවිචය සම්බොජ්ඣංගය ඇති කිරීමට සමත් නො වේ. එයට සමත් වන්නේ පරිශුද්ධ ඥානය ම ය. ආධ්‍යාත්මික බාහ්‍ය වස්තූන් ගේ පිරිසිදු බව ධම්මවිචයසම්බොජ්ඣංගයට හේතුවක් වශයෙන් කියනුයේ එය පරිශුද්ධ ඥානය ඇති වීමේ හේතුවක් වන බැවිනි.

ඇතැම් යෝගාවචරයෝ අපිරිසිදු බව තපස්කමේ අංගයකැයි වරදවා සිතා ගෙන හිසකේ රැවුල් දික් කර ගෙන කිලිටි සිවුරු හැඳ පොරවාගෙන හැසිරෙති. කිලිටි තැන්වල වෙසෙති. එය තපස් කිරීමේ හෝ යෝග කර්මයේ අංගයකැයි ගැනීම ඔවුනට වැරදීමකි. හැකිතාක් පිරිසිදු ව විසීම ම යෝගාවචරයා ගේ අංගයකි. පිරිසිදු කිරීම සැරසීමය යි ද වරදවා නො ගත යුතු ය. සැරසීම අනෙකකි. පිරිසිදු කිරීම අනෙකකි. පිරිසිදු කිරීමය කියා ශරීරය හෝ වාසස්ථානය හෝ සරසන්නට නො යා යුතු ය. යෝගාවචරයන්ට සුදුසු චාම් බව ම ය. සියල්ල සැරසීමෙන් තොර ව පිරිසිදු ව තබා ගත යුතු ය.

ඉදින් යෝගාවචරයා හට සෙසු ඉන්ද්‍රියයන්ට වඩා සද්ධින්ද්‍රියය බලවත් වුවහොත් ඒ බලවත් වූ සද්ධින්ද්‍රියය නිසා විරියින්ද්‍රියයට අනුබල දීමේ කෘත්‍යය ද, සතින්ද්‍රියයට අරමුණ මතු කර දීමේ කෘත්‍යය ද, සමාධින්ද්‍රියට සිත අරමුණෙහි මනා කොට පිහිටවීම ද, පඤ්ඤින්ද්‍රියයට අරමුණ මනා කොට දැකීම ද මැනවින් සිදු කරන්නට නො හැකි වේ. සකල ඉන්ද්‍රියයන් ම සම සේ ක්‍රියා නො කළ හොත් ධ්‍යානමාර්ග ඵලයන් නූපදනේ ය. වක්කලී තෙරුන් වහන්සේ ගේ කථාව මෙයට සාධක වශයෙන් දැක්විය යුතු ය.

සද්ධින්ද්‍රිය බලවත් වූ කල්හි යෝගාවචරයා විසින් ධර්ම ස්වභාවයන් මෙනෙහි කිරීමෙන් හෝ ශ්‍රද්ධාව වැඩෙන කරුණු ගැන නො සිතා හැරීමෙන් හෝ බලවත් වූ සද්ධින්ද්‍රිය දුබල බවට පැමිණ විය යුතු ය. ඉදින් යෝගාවචරයා ගේ විරියින්ද්‍රියය අධික බලයට පැමිණියේ නම් එකල්හි සද්ධින්ද්‍රියය නිසැක ව පිළිගැනීමේ කෘත්‍යය සිදු කරන්නට අපොහොසත් වෙයි. සෙසු ඉන්ද්‍රියයෝ ද ඔවුන් අයත් ඒ ඒ කෘත්‍යයන් සිදු කිරීමට අපොහොසත් වෙති. එයට සාධක වශයෙන් සෝණ තෙරුන් වහන්සේ ගේ කථාව දැක්විය යුතුය.

යෝගාවචරයා විසින් බලවත් වූ විරියින්ද්‍රිය පස්සද්ධි-සම්බොජ්ඣංගය වැඩීමෙන් හෝ වීර්‍ය්‍යය බලවත් වන කරුණු නො සිතා හැරීමෙන් හෝ දුබල බවට පැමිණවිය යුතු ය. ඉන්ද්‍රියයන්ගෙන් කවරක් වුව ද අධික බලයට පැමිණිය හොත් ඉතිරි ඉන්ද්‍රියයන්ට තම තමා අයත් කෘත්‍යය මැනවින් සිදු කළ නො හැකි වීමේ දෝෂය වන්නේ ය. එබැවින් යෝගාවචරයන් විසින් නිතර ම ඉන්ද්‍රියයන් සම බලයෙන් පවත්වා ගැනීමට උත්සාහ කළ යුතු ය. විශේෂයෙන් ම ශ්‍රද්ධා ප්‍ර‍ඥා දෙක්හි හා සමාධි වීර්‍ය්‍ය දෙක්හි සම බව වුවමනා ය.

නුවණ මඳ ශ්‍රද්ධාව වැඩි තැනැත්තා මෝඩ සැදැහැවතකු විය හැකි ය. හෙතෙමේ නො පැහැදිය යුතු තැනට ද පහදින්නේ ය. එයින් හේ පිරිහෙන්නේ ය. ශ්‍රද්ධාව හීන වූ නුවණ වැඩි තැනැත්තා කෛරාටික වී පැහැදිය යුතු තැනට ද නො පහදින, පින් නො කරන කෙනකු විය හැකි ය. හෙතෙමේ බෙහෙතින් හට ගත් ලෙඩක් ඇතියකු වැනි ය. බෙහෙතෙන් ම හටගත් රෝගය සුව කිරීමට අපහසු ය. එසේ ම පුණ්‍යක්‍රියාවල ඔහු යෙදවීමට ද දුෂ්කරය. හේ ‘සිතීම් මාත්‍රයෙන් ම පින් සිදු වන්නේ ය, ඒ ගැන මහන්සි වන්නට වුවමනා නැතය’ යි කියමින් කිසි පිනක් නො කොට අපාගත වන්නේ ය. ශ්‍රද්ධා ප්‍ර‍ඥා දෙක සම ව පවත්නා කල්හි පුද්ගලයා පැහැදිය යුතු තැනට ම පැහැදී නො මඟ නො ගොස් පින්කම් කොට දුකින් මිදී සැපයට පැමිණෙන්නේ ය.

යමකුට සමාධිය බලවත් වී වීර්‍ය්‍යය දුබල වුවහොත් සමාධිය ථීනමිද්ධයට පක්ෂ ධර්මයක් බැවින් ඒ යෝගාවචරයා ගේ සන්තානයට පහසුවෙන් ථීනමිද්ධයට පැමණිය හැකි ය. යමකුට වීර්‍ය්‍යය බලවත් වී සමාධිය දුබල වුවහොත් වීර්‍ය්‍යය ඖද්ධත්‍යයට පක්ෂ බැවින් ඒ තැනැත්තාගේ සන්තානයට පහසුවෙන් ඖද්ධත්‍යයට පැමිණිය හැකි ය. සමාධිය වීර්‍ය්‍යයෙන් යුක්ත වූ කල්හි ථීනමිද්ධයට පැමිණීමට අවකාශ නො ලැබේ. වීර්‍ය්‍යය සමාධියෙන් යුක්ත වන කල්හි ඖද්ධත්‍යය ඇති වීමට අවකාශ නො ලැබේ. එබැවින් යෝගාවචරයන් හට වීර්‍ය්‍ය සමාධීන් සම ප්‍ර‍මාණයෙන් පවත්වා ගැනීමේ අපේක්ෂාව නිතර ම තිබිය යුතු ය. ධ්‍යාන හෝ මාර්ග ඇති වන්නේ වීර්‍ය්‍යසමාධීන් සම ව පවත්නා කල්හි ම ය.

සමාධි ප්‍ර‍ඥා දෙකින් සමාධිය වඩන්නහුට බලවත් වූ ශ්‍රද්ධාව තිබීම ද යෝග්‍ය ය. බලවත් ශ්‍ර‍ද්ධාවෙන් සමාධිය වඩා ඔහුට ධ්‍යානය ද පැමිණිය හැකි වන්නේ ය. සමාධිය වඩන්නහුට බලවත් සමාධිය ද සුදුසු ය. හේ බලවත් සමාධිය නිසා අර්පණාවට පැමිණේ. විදර්ශනා වඩන්නහුට ප්‍ර‍ඥාව බලවත් ව තිබීම ද සුදුසු ය. බලවත් ප්‍ර‍ඥාව ගේ වශයෙන් හේ සත්‍යයන් දැක මාර්ග ඵල ලබන්නේ ය. සතිය වනාහි සෑම දෙනාට ම සෑම කල්හි බලවත් ව තිබීම ම සුදුසු ය. ඒ සතිය වනාහි ඖද්ධත්‍යපාක්ෂික ශ්‍රද්ධා වීර්‍ය්‍ය ප්‍ර‍ඥාවන් නිසා ඖද්ධත්‍යයට වැටෙන්නට ද ස්ත්‍යානමිද්ධපාක්ෂික සමාධිය නිසා අලස බවට වැටෙන්නට ද නො දී යෝගාවචරයා ගේ සිත රක්නේ ය. එබැවින් මේ සතිය සකල ව්‍යඤ්ජනයන්හි ම ලුණු තිබිය යුතුවාක් මෙන් යෝග කර්මයේ මුල මැද අග යන සැම තැනම ද යෝගයට අයත් සකල කෘත්‍යය විෂයයෙහි ද තිබිය යුතු ය.

නුවණ නැතියන් වර්ජනය කිරීමය යන මෙහි අදහස් කරන නුවණ නැතියෝ නම් ස්කන්ධාදි ධර්ම ගැන දැනුම නැතියෝ ය. ස්කන්ධාදි ධර්ම ගැන දැනුම ඇතියෝ ලෝකයෙහි සුලභ නැත. ලොව පිරී තිබෙන්නේ ඒ ධර්ම නො දත් බාලයන් ගෙන් ය. එ බැවින් කෙනකුට සර්වාකාරයෙන් ඔවුන් වර්ජනය කොට නො විසිය හැකි ය. ඒ ඔවුන් වර්ජනය කිරීම ය යනුවෙහි තේරුම ඔවුන් හා භජනය අඩු කිරීම ය යි දත යුතු. ස්කන්ධාදි ධර්ම විභාග නො දතුවන් ගේ අදහස් ය, කථා ය, ක්‍රියා ය යන සියල්ල ම ධර්මයට විරුද්ධ ඒවා ය. ඔවුන් හා එක් ව වෙසෙන එක් ව ක්‍රියා කරන තැනැත්තාට ද නිතර ඒ අදහස්වලට අනුකූල වන්නට සිදු වීම ඒ තැනැත්තාට සත්‍යදර්ශනය ඇති කර ගැනීමට බාධාවක් වේ. ඔවුන් භජනය නො කරත හොත් එය නො වෙයි. සත්‍ය දර්ශනයට බාධක දෙයක් නැතිවීම ද එය ඇති වීමට උපකාරයෙකි. නුවණ නැතියන් වර්ජනය කිරීම ධම්මවිචය සම්බොජ්ඣංගයට හේතුවකැයි කියන ලදුයේ එහෙයිනි.

ස්කන්ධාදි ධර්ම හඳුනන්නා වූ ඒවායේ ඉපදීම් බිඳීම් දෙක දන්නා නුවණැතියන් බොහෝ කොට සේවනය කරන කල්හි ඒ නුවණැතියන් ගේ කථා ඇසීමෙන් ඔවුන් ආශ්‍ර‍ය කරන තැනැත්තාට ද ඥානය ඇති වේ. නුවණැතියන් සේවනය කිරීම ධම්මවිචයසම්බොජ්ඣංගයට හේතුවකැ යි කියන ලදුයේ එහෙයිනි.

ස්කන්ධාදි ගම්භීර ධර්ම බොහෝ ය. ධර්මයන්ගේ වශයෙන් ඒවා ගැන පවත්නා ඥානයෝ ද බොහෝ වෙති. නිදානවග්ග සංයුත්තයෙහි “චතුචත්තාළීස ඤාණවත්ථු, සත්තසත්තති ඤාණවත්ථු” යනුවෙන් දැක්වෙන සිවුසාලිස් නුවණ ය. සත් සැත්තෑ නුවණ ය, පටිසම්භිදාමග්ගයෙහි දැක්වෙන තෙසැත්තෑ නුවණ ය යන මේවා ගම්භීර ධර්ම විෂයෙහි පවත්නා ඥානයෝ ය. ඒ ඥානයන් ගැන සිතන්නහුට ඒවාට විෂය වන ධර්මයන් ගැන සිතන්නට සිදුවේ. එයින් ඥානයන් ගැන සෙවීම - සිතීම - විමසීම කරන්නහුට ද නුවණ වැඩේ.

විරිය සම්බොජ්ඣංගය ඇති වීමේ හේතු

“අත්ථි භික්ඛවෙ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු තත්ථ යෝනිසෝමනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා විරියසම්බොජ්ඣංගස්ස උප්පාදාය උප්පන්නස්ස වා විරියසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරිය

“මහණෙනි, ආරම්භධාතු නම් වීර්‍ය්‍යයක් ඇත. නික්කම ධාතු නම් වූ වීර්‍ය්‍යයක් ඇත. පරක්කමධාතු නම් වූ වීර්‍ය්‍යයක් ඇත. ඒ වීර්‍ය්‍යයන්හි කරුණු අනුව මෙනෙහි කිරීම් බහුල බව නූපන් විරියසම්බොජ්ඣංගයේ ඉපදීමට ද උපන් විරියසම්බොජ්ඣංගයේ වැඩීමට හා සම්පූර්ණවීමට ද හේතු වේ ය” යනු එහි තේරුම යි.

එහි ආරම්භධාතු යනු යම් කිසිවක් ගැන පළමු පටන් ගන්නා වීර්‍ය්‍යය ය. යම් කිසිවක් පටන් ගෙන කර ගෙන යන කල්හි සමහර විට අලස බව ඇති වේ. එය ඇති වූ කල්හි එයින් නැඟීම් වශයෙන් නැවත පටන් ගන්නා වීර්‍ය්‍යය නික්කමධාතු නම් වේ. එක් දෙයක් සිදු කොට එයින් නො නැවතී කළ යුතු දෑ එකින් එකට කර ගෙන ඉදිරියට යන්නා වූ වීර්‍ය්‍යය පරක්කමධාතු නම් වේ. මේ වීර්‍ය්‍යධාතු එකින් එකට බලවත් ය.

“මෙය ධ්‍යානමාර්ගඵලයන් ලැබිය හැකි කාලය නො වේ ය, මෙකල වන මන්සිය නිෂ්ඵලය, මේ භවයේ දී රහත්වීමට තරම් නිවන් දැකීමට තරම් පිනක් අපට නැත, ඒ නිසා මතු බුදුසස්නකදී ඒවා බලාපොරොත්තු වනවා මිස දැන් ඒවා ගැන මහන්සි වීමෙන් පලක් නැත” යනාදීන් කල්පනා කිරීම වීර්‍ය්‍ය ධාතු ගැන නො මනා කොට මෙනෙහි කිරීම ය. උසස් දෙයකට පැමිණීමට උසස් දෙයක් ලැබීමට මහත් වූ වීර්‍ය්‍යයක් තිබිය යුතු ය. අල්ප වීර්‍ය්‍යයකින් උසස් දෙයක් නො ලැබිය හැකි ය. වීර්‍ය්‍ය ඇත්තහුට සිදු නො කළ හැකි දෙයක් නැත.” යනාදීන් සිතීම වීර්‍ය්‍යධාතුව පිළිබඳ කාරණානුකූල ව සිතීම ය. එසේ සිතන්නහුට එයින් ඇති නො වූ විරියසම්බොජ්ඣංගය ඇති වේ. ඇති වූ විරියසම්බොජ්ඣංගය වැඩේ.

තව ද “එකාදස ධම්මා විරියසම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති, අපායභයපච්චවෙක්ඛණතා, ආනිසංසදස්සාවිතා. ගමනවීථිපච්චවෙක්ඛණතා, පිණ්ඩපාතාපචායනතා, දායජ්ජමහත්ත-පච්චවෙක්ඛණතා, සත්ථුමහත්තපච්චවෙක්ඛණතා, ජාති මහත්ත පච්චවෙක්ඛණතා, සබ්‍ර‍හ්මචාරිමහත්තපච්චවෙක්ඛණතා, කුසීතපුග්ගල පරිවජ්ජනතා, ආරඬවිරියපුග්ගලසෙවනතා, තදධිමුත්තතා.”

යනුවෙන් අටුවාවෙහි ද විරියසම්බොජ්ඣංග හේතු එකොළොසක් දක්වා තිබේ. (1) අපාය භය ගැන සිතෙන බව ය, (2) වීර්‍ය්‍යයේ අනුසස් දක්නා බව ය. (3) බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මඟ ප්‍ර‍ත්‍යවේක්ෂා කරන බව ය. (4) සැදැහැතියන් විසින් දෙන බොජුනට ගරු කරන බව ය, (5) උරුමයේ මහත් බව ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම ය, (7) ජාතියේ මහත් බව ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම ය. (8) එක්ව පිළිවෙත් පුරන්නන්ගේ මහත් බව ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම ය, (9) අලසයන් දුරු කරන බව ය, (10) පටන් ගත් වීර්‍ය්‍ය ඇති පුද්ගලයන් සේවනය කරන බව ය, (11) විරියසම්බොජ්ඣංගයට නැමුණු බරවුණු සිත් ඇති බව ය යන මේ කරුණු එකොළොස අටුවාවෙහි දැක්වෙන විරියසම්බොජ්ඣංග හේතූහු ය.

1. අපාය දුක ඉතා මහත් ය. ඉතා භයානක ය. වීර්‍ය්‍ය නො කරන්නහුට නිවන් දැක අපායෙන් නො මිදිය හැකි ය. සිටු ව සිටියත් රජ ව සිටියත් දෙවි ව සිටියත් කෙලෙස් සහිත තැනැත්තා අපායෙන් මිදුණු තැනැත්තෙක් නො වේ. ඔහු ඒ සැපය විඳින්නේ අපායට ගෙන යාමේ වරෙන්තුව තිබියදී ය. අපාය භයින් මිදීමට නම් හැඳිවත ගිනි ගත්තකු එය නිවා ගැනීමට වීර්‍ය්‍ය කරන්නාක් මෙන් පමා නොවී අපායෙන් මිදීමට වීර්‍ය්‍ය කළ යුතු ය. නරකයෙහි ඉපද ගින්නෙන් දැවි දැවී සිටින විට යමපළුන් විසින් හඬව හඬවා තළනු කපනු ඉරනු ලබන කල්හි නිවන් දැකීමට වීර්‍ය්‍ය කිරීමට මඳකුදු ඉඩක් නැත.

තිරිසන් ව ඉපද මරණ බියෙන් වෙවුලා සැඟවී සිටින කල්හි ද බලවතුන් විසින් කා දමන්නට ලුහු බඳනා කල්හි ද, දැල් ආදියට හසු වී මරණ බියෙන් වෙවුලමින් සිටින කල්හි ද, මිනිසුන්ට හසු වී තළමින් කෙවිටි කරමින් වැඩ කරවනු ලබන කල්හි ද, නිවන් දැකීම සඳහා වෙර වැඩීමට කවර අවකාශයෙක් ද? ප්‍රේත ව සාපිපාසා දෙකින් පෙළෙන කල්හි ද, ඇට හා සම පමණක් ඇති සැටරියන් ශරීර ඇති අසුර ව ඉපද අවු සුළං ආදියෙන් පෙළෙන කල්හි ද, පින් කිරීමට කවර අවකාශයෙක් ද? දැන් පැමිණ තිබෙන්නේ නිවන් දැකීමට වීර්‍ය්‍ය කළ යුතු කාලය ය යනාදීන් අපාය භය මෙනෙහි කරන්නහුට විරිය සම්බොජ්ඣංගය ඇති වේ.

2. වීර්‍ය්‍ය නො කරන්නකුට මහාසම්පත්තියක් තබා බත් පැන් ටික වත් නො ලැබිය හැකි ය. චක්‍ර‍වර්තිරාජසම්පත්තියට ද ශක්‍ර‍සම්පත්තියට ද බ්‍ර‍හ්මසම්පත්තියට ද සිය දහස් වාරයෙන් උතුම් ලෝකෝත්තර වූ ධර්ම වීර්‍ය්‍ය නො කර කෙසේ ලැබේ ද? වීර්‍ය්‍ය කරන්නහුට නවලෝකෝත්තර ධර්මය ලැබිය හැකි ම ය යනාදීන් වීර්‍ය්‍යයේ අනුසස් සිතන්නහුට ද එයින් විරිය සම්බොජ්ඣංගය උපදනේ ය.

3. නො මඟ යන්නෝ කිසි කලෙක නියම තැනට නො පැමිණෙති. නියම තැනට පැමිණීමට නම් නියම මගින් ම යා යුතු ය. සියලු බුදු පසේ බුදු රහතන් වහන්සේ ම නිවන් ගියේ වීර්‍ය්‍යයෙනි. වීර්‍ය්‍ය නො කරන්නකුට නිවනට යා නො හැකි ය. වීර්‍ය්‍යය බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ගිය මඟ ය. මෙසේ බුද්ධාදීන් ගිය මඟ මෙනෙහි කරන්නහුට ද විරියසම්බොජ්ඣංගය උපදනේ ය.

4. පිණ්ඩපාතාපචායනතා යනුවෙන් දැක්වෙන සතර වන කාරණය විශේෂයෙන් පැවිද්ද සම්බන්ධ කරුණෙකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ භික්ෂූන් වහන්සේලා සිල්වත්හු ය. හිස් ව කාලය ගත නො කොට පව් නසනු සඳහා කෙලෙස් නසනු සඳහා නිවන් දකිනු සඳහා රෑ දවල් දෙක්හි අනලස ව වෙර වඩන්නෝ ය. මුන් වහන්සේලා ශුද්ධ පුද්ගලයෝ ය. මුන් වහන්සේලාට දීම බොහෝ අනුසස් ඇත්තේ ය යි සලකා මනුෂ්‍යයෝ තමන් යම්තම් දෙයක් කා බී යැපී තමන්ගේ අඹුදරුවන්ට යන්තමින් කවා පොවා තමන් දුකසේ සපයන දෙයින් පැවිද්දන්ට දන් දෙන්නාහ. සමහරවිට තමා නිරාහාරව සිට තමන්ගේ දූ දරුවන් ද හාමතින් සිටිද්දී පැවිද්දන්ට දන් දෙන්නාහු ය. ගිහියන් විසින් එසේ දෙන්නා වූ ඒ ආහාරය ඉතා බර දෙයකි. ඒ ආහාරය පිළිගෙන වළඳා නිකම් ම අලසකමින් නිදමින් හා කාමවිතර්කාදියෙන් හා සම්ඵප්‍ර‍ලාපයෙන් ද සිනාවෙන් ද කාලක්ෂේපය කිරීම බරපතල වරදෙකි. යටත් පිරිසෙයින් ශීලයවත් නො පුරා ඒ දානය වැළඳීමෙහි ඇති බරපතල කම:-

“මධුරෝපි පිණ්ඩපාතො

හළාහළ විසූපමො අසීලස්ස,

ආදිත්ත ගිලීතබ්බා

අයොගුලා යෙන චිරරත්තං”

යනුවෙන් ප්‍ර‍කාශිත ය. “සිල් නැති තැනැත්තා හට ගිහියන් විසින් දෙන මියුරු වූ ද ආහාරය කෑ සැටියේ ම මැරෙන වසක් බඳු ය. ඒ හේතුවෙන් දුශ්ශිල ව සිට මිනිසුන් දෙන ආහාරය වළඳන තැනැත්තා හට නරකයෙහි ඉපද දීර්ඝ කාලයක් ගිනියම් ලොහො ගුළි ගිලින්නට සිදු වන්නේ ය” යනු ගාථාවේ අදහස ය.

ගිහියන් විසින් දුකසේ සපයා සැදැහැයෙන් දෙන දානය ලඝු කොට නො සිතා පැවිද්දන් විසින් එයට ගෞරව කළ යුතු ය. ගරු කිරීම නම් ඒ ආහාරයට හෝ එය දෙන ගිහියන්ට හෝ වැඳුම් පිදුම් කිරීම නොව, තමන් යම් අයුරකින් පිළිපන් කල්හි දායකයනට දානමය කුශලය මහත්ඵල මහානිසංස වේද, ඒ ගුණ තමන් කෙරෙහි ඇති කර ගෙන ඒ දානය පිළිගැනීම හා වැළඳීම ය. වත්පිළිවෙත් කිරීමක් නැති ව, භාවනාවක් හෝ උගෙනීමක් - උගැන්වීමක් හෝ නැති ව, බණ පිරිත් දෙසීමක් හෝ නැතිව, සැදැහැතියන් විසින් දුකසේ පිළියෙලකර දෙන දානයෙන් රස ගුණැති ඒවා තෝරා කුසපුරා ගිල දමා, රිසි සේ නිදමින් මියුරු බොජුනෙන් නඟින බලවේගයන් හිස උදුම්මාගෙන අනුන්ට රවමින් ගොරවමින් ද, රාජකථාදි හිස් කථාවෙන් ද සිනහවෙන් ද කාලක්ෂේපය කරන හිස් පැවිද්දන්ට දෙන දානය මහත් ඵල මහානිසංස නො වේ.

රාග ද්වේෂ මෝහයන් දුරු කළා වූ හෝ ඒවා නැති කර ගැනීමට වෙර වඩන්නා වූ හෝ පැවිද්දන්ට දෙන දානය ම දායකයාට මහත්ඵල වේ. “අපට මේ දානය පිරිනමන සැදැහැවත්හු අපගේ මාපියවරු ද නො වන්නාහ. සහෝදර සහෝදරියෝ ද නො වන්නාහ. අපගේ නෑයෝ ද නො වන්නාහු ය. ණය කාරයෝ ද නො වන්නාහු ය. වැඩකාරයෝ ද නො වන්නාහු ය. අපෙන් වැඩක් කරවා ගැනීමට දෙන්නාහු ද නො වෙති. අප විසින් ඔවුනට කර දුන් වැඩක් ගැන දෙන්නාහු ද නො වෙති. හුදෙක් ඔවුහු “මේ පැවිද්දන් වහන්සේලා දීමට සුදුසු ගුණ ඇත්තෝ ය, ඔවුනට දීම බොහෝ සෙයින් අනුසස් ඇත්තේ ය” යි සිතා දෙන්නාහු ය. බුදුන් වහන්සේ විසින් පැවිද්දන්ට මේ සිවුපසය අනුදැන වදාරා තිබෙන්නේ ද කා බී නිදමින් කල් ගෙවීමට නොව මහණදම් පුරා සසර දුකින් මිදීමට ය. ඒ නිසා මේ දානය වළඳා නිකම් නිදා නො සිට දුන් අයට මහත්ඵල වනු පිණිසත් සසර දුකින් මිදීම පිණිසත් නො පමාව මහණදම් පිරිය යුතු ය යනාදීන් පිණ්ඩපාත භෝජනය ගැන ගරු කොට සිතන්නා වූ පැවිද්දන්ට මහාමිත්ත තෙරුන් වහන්සේට මෙන් විරියසම්බොජ්ඣංගය උපදී.

මිත්ත තෙරුන් වහන්සේ ගේ කථාව

උන්වහන්සේ කස්සක නම් ලෙනෙහි වාසය කළහ. ගොදුරු ගම ද ලෙනට නුදුරින් ම විය. එක දුප්පත් උපාසිකාවක් දරුවකු මෙන් සලකා ගෙන උන් වහන්සේට සත්කාර කළා ය. දිනක් ඒ උපාසිකාව කිසිවක් සොයා ගනු පිණිස වනයට යන්ට සැරසී, දුව අමතා, අසවල් තැන්වල පරණ සහල් හා කිරි ද ගිතෙල් ද පැණි ද ඇති බවත්, පරණ සහලින් බස පිස, තෙරුන් වහන්සේ පැමිණි කල්හි කිරි ගිතෙල් පැණි හා උන්වහන්සේට පිළිගන්වා ඇයට අනුභව කරන ලෙසත් කීවා ය. “මෑණියෙනි, ඔබ කුමක් අනුභව කරන්නෙහිද” යි ද කීවා ය. “මම හීල් බත් ටිකක් තිබී කාඩිදිය හා අනුභව කෙළෙමි” යි මහා උපාසිකාව කීවා ය. “ඔබට දවාලට කෙසේදැ” යි දූ විචාළා ය. කඩසහල් ටිකක් ගෙන පළා කොළත් සමඟ ඇඹුල් කැඳක් මට පිස තබන්නය” යි උපාසිකාව කීවා ය.

මේ කථාව කෙරෙන කල්හි මිත්ත තෙරුන් වහන්සේ පිඬු පිණිස ගොදුරු ගමට යනු පිණිස සිවුරු පොරවා පසුම්බියෙන් පාත්‍ර‍ය ගනිමින් සිටියහ. උන් වහන්සේට ඒ කථාව හොඳින් ඇසිණි. උන් වහන්සේ එය අසා තමන් වහන්සේට ම අවවාද කරගන්නාහු “මහා උපාසිකාව කාඩිදිය හා හීල් බත් ගත්තා ය, දවල් ද ඕ තොමෝ ඇඹුල් කැඳ බොන්නී ය, තට දීම පිණිස පරණ සහල් ආදිය තිබෙන තැන් කියන්නී ය, තා ගෙන් ඕ තොමෝ ඉඩමක් කඩමක් හෝ මිල මුදල්ක හෝ අන් දෙයක් හෝ ලබන්නට බලාපොරොත්තු නො වන්නී ය. ඕ තොමෝ ත්‍රිවිධ සම්පත්තිය පතා ම තට දෙන්නී ය, නුඹ ඇයට ඒ සම්පත් ලබා දීමට සමත් වන්නෙහි ද? තමන් නො කා නො බී දුකසේ දෙන මේ ආහාරය රාග සහිත ව ද්වේෂ සහිත ව මෝහ සහිත ව සිට වළඳන්නට නො වටනේ ය” යි පාත්‍ර‍ය නැවතත් පසුම්බියෙහි ලා සිවුරු ගැටවටු මුදා ලෙනට පිවිස පාත්‍ර‍ය ඇඳ යට තබා සිවුරු තැන්පත් කොට තබා “රහත් නො වී මේ ලෙනෙන් බැහැරට නො යමි” යි තදින් ඉටා වැඩහුන් සේක.

උන් වහන්සේ කලක පටන් ම රහත් වීමේ බලාපොරොත්තුවෙන් මහත් වීර්‍ය්‍යයෙන් මහණදම් පුරමින් විසූ උතුමෙකි. එ බැවින් මහත් සංවේගයෙන් බලවත් වීර්‍ය්‍යයෙන් ඒ අවස්ථාවෙහි භාවනාවෙහි යෙදුණු උන් වහන්සේ පෙරවරු කාලයේදී ම සව් කෙලෙසුන් නසා රහත් වූහ. උන් වහන්සේ රහත් වී මහත් සොම්නසින් වැඩ සිටින වේලෙහි ලෙන දොරකඩ ගසෙහි වෙසෙන දේවතාවා ද ඒ බව දැන මහත් සොම්නසට පැමිණ,

“නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම,

යස්ස තෙ ආසාවා ඛීණා දක්ඛිණෙය්‍යො’සි මාරිස” යි

උදක් අනා “ස්වාමීනි, නුඹ වහන්සේ වැනි රහතුන්ට දන් දී මහලු උපාසිකාවෝ දුකින් මිදෙන්නාහ” යි කී ය. තෙරුන් වහන්සේ හුනස්නෙන් නැගී ලෙන් දොර හැර බලා, පෙරවරු කාලය ම බව දැන පා සිවුරු ගෙන ගොදුරු ගම බලා වැඩි සේක.

ළදැරිය ද බත් පිස තබා සොහොයුරන් වහන්සේ දැන් දැන් වැඩම කරනු ඇතය ය යි මඟ දෙස බලමින් සිටියා ය. ඕ තොමෝ තෙරුන් වහන්සේ පැමිණි කල්හි පාත්‍ර‍ය ගෙන එය ගිතෙල් පැණි සහිත කිරිබතින් පුරවා තෙරුන් වහන්සේ ගේ අතෙහි තැබීය. තෙරුන් වහන්සේ “සුවපත් වේවා” යි කියා වැඩම කළහ. ඕ තොමෝ ද තෙරුන් වහන්සේ දෙස බලාගත් වන ම සිටියා ය. එදින් තෙරුන් වහන්සේ ගේ සිරුර වෙනදා සේ නො වී ය. මුහුණ තැරියෙන් ගැලවුණු ලා තැඹිලි ගෙඩියක් සේ පැහැපත් ව තිබිණ. උන් වහන්සේ ගේ ඉන්ද්‍රියයන් පහන් ව තිබිණ. මහා උපාසිකාව වනයෙන් අවුත් “දුවේ, නුඹේ සහෝදරයා වැඩි සේක්දැ” යි ඇසුවා ය. දුව සියලු පුවත ඇයට කීවා ය. ඕ තොමෝ “අද මාගේ පුත්‍ර‍යා ගේ පැවිද්ද මස්තකප්‍රාප්ත වීය” යි දැන, “දරුව මාගේ පුත්‍ර‍යාණෝ මතු බුදුසස්නෙහි උකටලී නො වන්නාහ” යි කීවා ය.

5. මාගේ බුදුපියාණන් වහන්සේගෙන් මා හට ලබා ගත හැකි දායාදය වන සප්තාර්‍ය්‍ය ධනය වටිනාකම පමණ කළ නො හෙන ධනයෙකි. සතරමාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධනය ද වටිනා කම පමණ කළ නො හෙන ධනයෙකි. ඒ දායාදය මා විසින් ලබා ගත යුතු ම ය. මාපියනට අකීකරු ව හැසිරෙන ගුණ හීන දරුවෝ මා පියන් සතු උසස් දෑ නො ලබන්නාහ. මා පියෝ ඒවා හොඳ දරුවන්ට අත්පත් කරන්නාහ. ලොවුතුරා බුදුපියාණන් වහන්සේට කීකරු නොවන උන් වහන්සේගේ සිත් නො ගන්නා අකීකරු බුද්ධ පුත්‍රයෝ උන් වහන්සේ සතු අලෞකික ධනය නො ලබන්නාහ. උන් වහන්සේ තමන් වහන්සේගේ දරුවනට අනුශාසනා කළේ :-

“යං භික්ඛවෙ, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික්ඛවෙ, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤගාරානි, ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ, අයං වො අම්හාකං අනුසාසනී”

යනුවෙන් වෘක්ෂමූල ශුන්‍යාගාරයන්ට එළඹ ධ්‍යාන කිරීමට ය. මා විසින් එය කොට බුදුන් වහන්සේ ගේ නවලෝකෝත්තර දායාදයට හිමියකු විය යුතුය” යනාදීන් බුදුන් වහන්සේගේ දායාදයෙහි මහත් බව සිතන්නහුට ද විරියසම්බොජ්ඣංගය උපදී.

6. මාගේ ශාස්තෘන් වහන්සේ වැනි තවත් ශාස්තෘවරයෙක් ලොව නැත. මාගේ ශාස්තෘන් වහන්සේ මවුකුස පිළිසිඳ ගන්නා අවස්ථාවෙහි ද අභිනිෂ්ක්‍ර‍මණය කිරීමෙහි ද, ලොවුතුරා බුදුබවට පැමිණීමෙහි ද, දම්සක් පැවැත්වීමෙහි ද, යමාමහ පෙළහර කිරීමෙහි ද දෙව්ලොවින් බැසීමෙහි ද, ආයු සංස්කාරය හැරීමෙහි ද, පිරිනිවීමෙහි ද, දහසක් ලෝදා කම්පා විය. එබඳු බුදු කෙනකුන්ගේ සස්නෙහි පැවිදි ව වෙසෙන මා හට කා බී නිදා ගැනීමෙන් කල් යැවීම නො හොබනේ ය” යනාදීන් ශාස්තෘන් වහන්සේගේ මහත් බව මෙනෙහි කිරීමෙන් ද විරියසම්බොජ්ඣංගය වැඩේ.

7. මම දැන් හීන ජාතිකයෙක් නො වෙමි. අසම්භින්න මහාසම්මත රාජපරම්පරාවෙන් පැවත එන සුද්ධෝදන මහ රජතුමා ගේ මුණුබුරු රහල් හිමියන්ගේ සොහොයුරෙක් වෙමි. සර්වඥ පුත්‍ර‍යකු වූ මා විසින් නිකම් ම වාසය කරන්නේ නම් එය මාගේ ජාතියට නො හොබනේ ය” යනාදීන් මෙනෙහි කිරීමෙන් ද විරියසම්බොජ්ඣංගය පහළ වේ.

8. “සැරියුත් මුගලන් මහ තෙරුන් වහන්සේලා ද, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ද වීර්‍ය්‍යයෙන් ම ලෝකෝත්තර ධර්මයන් ලැබූහ. මා විසින් මාගේ ඒ සබ්‍ර‍හ්මචාරීන් වහන්සේලා ගිය මඟ යා යුතු ය” යනාදීන් මෙනෙහි කරන්නහුට ද විරියසම්බොජ්ඣංගය උපදනේ ය.

9. සැදැහැතියන් දෙන දානය බඩ පුරා වළඳා, ඒ මේ අත පෙරළෙමින් ඈනුම් හරිමින් නිදන, ඉතිරි කාලයත් සම්ඵප්‍ර‍ලාපයෙන් ගත කරන, අලසයන් බොහෝ කොට සේවනය කරන, අලසයන් හා එක්ව වාසය කරන තැනැත්තාට ද ඒ අලස බව බෝවේ. පලක් නැති ව විනෝදය පිණිස කථා කරමින් සිටීමට සහභාගී කරවා ගැනීම් වශයෙන් අලසයෝ අන්‍යයන් ගේ වැඩට ද බාධා කරති. එබැවින් ඔවුන් ඇසුරු කරන්නන්ට විරියසම්බොජ්ඣංගය ඇති නො වේ. අලසයන් හා එක් ව විසීමෙන් විරියසම්බොජ්ඣංගය ඇති වීමට බාධා වී තිබෙන තැනැත්තන්ට ඔවුන් හා ආශ්‍ර‍ය හැර දැමීම විරියසම්බොජ්ඣංගය ඇති වීමට කරුණක් වේ. අනලස වූ බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත වූ හිස් ව කාලය ගත නො කරන්නා වූ උතුමන් ඇසුරු කරන තැනැත්තන්ට එයින් විරියසම්බොජ්ඣංගය ඇති වේ.

10. පෙර සෝමමිත්ත නම් වූ ත්‍රිවේදයෙහි පාරප්‍රාප්ත වූ බමුණෙක් බුදුසස්නෙහි පැවිදි ව උපසම්පන්නව විමල නම් වූ ස්ථවිර කෙනකුන් ඇසුරු කර ගෙන වත්පිළිවෙත් පුරමින් විසී ය. විමල තෙරුන් වහන්සේ වනාහි නිතර නිදි කිරන අලස තැනැත්තෙකි. සෝමමිත්ත තෙරණුවෝ රෑ දාවල් දෙක්හි නිකම් ම නිදන අලසයකු ඇසුරු කිරීම කවර ගුණයක්දැ යි සිතා විමල තෙරුන් වහන්සේ ගැන කලකිරී මහ කසුප් තෙරුන් වහන්සේ වෙත එළඹ, උන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා විදසුන් වඩා නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා රහත් වූහ. රහත් වූ සෝමමිත්ත තෙරුන් වහන්සේ අලස කමින් හිස් ජීවිතයක් ගත කරන විමල තෙරුන් වහන්සේ උත්සාහවත් කරවනු වස් මේ ගාථා වදාළ හ.

“පරිත්තං දාරුමාරුය්හ යථා සීදෙ මහණ්ණවෙ,

එවං කුසීතමාගම්ම සාධුජීවි විසීදති,

තස්මා තං පරිවජ්ජෙය්‍ය කුසීතං හීනවීරියං

පවිචිත්තෙහි අරියෙහි පහිතත්තෙහි ඣායිහි,

නිච්චං ආරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සහාවසෙ.”

තේරුම :-

“මිනිසකුගේ බර ඉසිලීමට ප්‍ර‍මාණ නො වන කුඩා ලී කැබෙල්ලක් ගත් තැනැත්තා යම් සේ මහ සයුරෙහි ගැලේ ද, එමෙන් අලසයා ඇසුරු කර වෙසෙන යහපත් තැනැත්තා ද අලසයා නිසා සංසාර සාගරයේ ගිලේ. ඒ නිසා වීර්‍ය්‍ය නැත්තා වූ අලසයා දුරු කරන්නේ ය.

විවේකය භජනය කරන්නා වූ නිවනට යැවූ සිත් ඇත්තා වූ ධ්‍යාන කරන්නා වූ පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තා වූ පණ්ඩිත වූ ආර්‍ය්‍යයන් හා නිතර වාසය කරන්නේ ය” යනු යි.

මේ අවවාදය අසා කලින් අලසව විසූ විමල ස්ථවිරයෝ සංවේගය ලැබ විදර්ශනා වඩා සියලු කෙලෙසුන් නසා රහත් වූහ. අලසයන් ගෙන් වෙන් වීමෙන් හා වීර්‍ය්‍යවත් පුද්ගලයන් භජනය කිරීමෙන් විරියසම්බොජ්ඣංගය උපදින බව හා වැඩෙන බව මේ කථාවෙන් තේරුම් ගත හැකි ය.

පීති සම්බොජ්ඣංගය ඇතිවීමේ හේතු

“අත්ථි භික්ඛවෙ, පීතිසම්බොජ්ඣංගට්ඨානියා ධම්මා, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣංගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්-ඣංගස්ස භාවනාය පාරිපූරිය.”

තේරුම :-

මහණෙනි, පීතිසම්බොජ්ඣංගයට හේතු වන ධර්මයෝ ඇතහ. ඒ ධර්මයන් ගැන කාරණානුකූලව මෙනෙහි කිරීම් බහුල බව නූපන් පීතිසම්බොජ්ඣංගයේ ඉපදීමට ද උපන් පීතිසම්බොජ්ඣංගයේ වැඩීමට හා සම්පූර්ණ වීමට ද හේතු වන්නේ ය.

මෙහි පීතිසම්බොජ්ඣංගස්ථානීය ධර්ම වශයෙන් දැක්වෙන්නේ ප්‍රීතිය ම ය. සත්ත්වයනට ප්‍රීතිය මහත් වූ මිහිරකි. වරක් එය ලැබූ තැනැත්තා නැවත නැවතත් ලැබීමට කැමති වෙයි. එබැවින් පළමු පළමු ඇති වූ ප්‍රීතිය ම මතු මතුයෙහි ප්‍රීති ඇති වීමට හේතු වෙයි. ප්‍රීති සම්බොජ්ඣංගස්ථානීය ධර්මයන් ගැන යෝනිසෝමනිසාකාරය ය යනු යම් යම් ආකාරයකින් සිතන කල්හි ප්‍රීතිය ඇති වේ නම් ඒ ඒ ආකාරයෙන් සිතීම ය.

ප්‍රීතිය, සාමිෂ ප්‍රීතිය ය නිරාමිෂ ප්‍රීතිය යයි දෙවැදෑරුම් වේ. එයින් ධනධාන්‍ය පුත්‍ර‍දාරාදීන් පිළිබඳ ව ඇති වන ප්‍රීතිය සාමිෂ ප්‍රීතිය ය. භික්ෂූන් ගේ වශයෙන් කියත හොත් සිවුපසය සම්බන්ධයෙන් හා දායක ගෝල බාලාදීන් සම්බන්ධයෙන් ඇති වන ප්‍රීතිය සාමිෂ ප්‍රීතිය ය. එය නිවනට හේතු වන ප්‍රීතියක් නො වේ. එය මේ බෝධ්‍යාංග කථාවෙහි අදහස් කරනු නො ලැබේ. මෙහි අදහස් කරනුයේ බුද්ධගුණාදිය සම්බන්ධයෙන් ඇති වන නිරාමිෂ ප්‍රීතිය ය. එය ලැබීමට බුද්ධගුණාදිය සිතිය යුතු ය. ඒ නිරාමිෂ ප්‍රීතියේ උසස් බව ගැන හෝ සිතිය යුතු ය. එසේ සිතීම ප්‍රීති සම්බෝධ්‍යාංගස්ථානීය ධර්මයන් පිළිබඳ යෝනිසෝමනස්කාරය ය. අටුවාවෙහි ප්‍රීති සම්බොජ්ඣංගයට හේතු එකොළොසක් දක්වා තිබේ. ඒ මෙසේ ය:-

“එකාදස ධම්මා පීතිසම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති. බුද්ධානුස්සති, ධම්ම - සංඝ - සීල - චාග - දේවතානුස්සති, උපසමානුස්සති, ලූඛපුග්ගලපරිවජ්ජනතා. සිනිද්ධපුග්ගලසෙවනතා, පසාදනීයසුත්තන්තපච්චවෙක්ඛණතා, තදධිමුත්තතාති.”

(1) බුදු ගුණ නැවත නැවත මෙනෙහි කිරීම ය, (2) දහම් ගුණ නැවත නැවත මෙනෙහි කිරීම ය, (3) සඟ ගුණ නැවත නැවත සිහි කිරීම ය, (4) තමා ගේ ශීලගුණය නැවත නැවත මෙනෙහි කිරීම ය, (5) තමා ගේ ත්‍යාග ගුණය නැවත නැවත මෙනෙහි කිරීමය, (6) දේවත්වයට පැමිණීමට හේතු වන තමා ගේ ශ්‍රද්ධාදි ගුණයන් නැවත නැවත මෙනෙහි කිරීම ය, (7) තමා ගේ සන්සුන් කෙලෙසුන් නැවත නැවත මෙනෙහි කිරීම ය, (8) රළු පුඟුලන් ආශ්‍ර‍ය නො කරන බැහැර කරන බවය, (9) මොළොක් ගුණැති අය ආශ්‍ර‍ය කරන බවය, (10) ප්‍ර‍සාදයට හේතු වන සූත්‍ර‍ ධර්මයන් මෙනෙහි කරන බවය, (11) ප්‍රීති සම්බෝධ්‍යාංගයෙහි නැමුණු සිත් ඇති බව ය යන මේ කරුණු එකොළොස අටුවාවෙහි දැක්වෙන ප්‍රීති සම්බෝධ්‍යාංග හේතූහු ය.

ප්‍රීතිය සැම දෙනාට ම වුවමනා දෙයකි. සාමාන්‍ය ජනයා ගේ ප්‍රීතියට හේතු වන අඹු - දරු, නෑ - මිතුරු ආදීන් හා වතු කුඹුරු, ඇඳුම් - පැළඳුම්, මිල - මුදල්, යාන - වාහන, ගරු නම්බු තනතුරු ආදිය ද, උසස් යෝගාවචරයන්ට පෙනෙන්නේ නින්දේ දී දක්නා සිහින බඳු, කැඩපත්වල පෙනෙන රූප බඳු, මස් නැති ඇටකටු බඳු නිස්සාර දේ ලෙසට ය. කඩු කිනිසි උල් පිහියා තුවක්කු ගිනි අඟුරු බඳු භයානක දේ ලෙසට ය. වල් අලි වල්හරක්, කොටි, වලස් නයි පොළොන් ආදීන් සේ භයානක සැටියට ය. වැසිකිලි වළවල් සේ පිළිකුල් ලෙසට ය. උසස් යෝගාවචරයන් ඒ කාමයන්ට බියවන තරම කාමයන් ගැන සලකන සැටි භිස ජාතකයෙන් තේරුම් ගත හැකි ය.

ඒ මෙසේ ය :-

භිස ජාතකය

එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක උපන්හ. මහාකඤ්චන කුමාරයෝ ය යි උන්වහන්සේට නම තැබූහ. උන් වහන්සේට බාල සහෝදරයෝ සදෙනෙක් ද සහෝදරියක් ද වූහ. කාමය කෙරෙහි නො ඇලුණා වූ ඔවුහු විවාහ ජීවිතයට බැස නො ගත්හ. ඔවුහු මාපියන් ජීවත් වන තාක් ඔවුනට උපස්ථාන කරමින් සිට මාපියන් ඇවෑමෙන් ඔවුනට හිමි වූ අසූ කෙළක් ධනය දුගී මගී යාචකයනට දන් දී තපස් කම් කරනු පිණිස සැම දෙන ම හිමාලය වනයට ගිය හ. දාසියක් ද දාසයෙක් ද යහළුවෙක් ද ඔවුන් හා ගියෝ ය. පිරිස එකොළොස් දෙනෙක් වූහ. ඔවුහු හිමාලයෙහි එක් විලක් සමීපයේ මනරම් තැනක පන්සලක් කරගෙන සෑම දෙන ම පැවිදි ව මහ බෝසතාණන් වහන්සේගේ අවවාදානුශාසනය පරිදි මහණ දම් පුරන්නට වන්හ.

ඵලාඵල පිණිස වනයට යන කල්හි ඔවුහු සමූහ වශයෙන් ගොස් ඇසූ දුටු දෑ සම්බන්ධයෙන් කථා කරමින් පලවැල නෙළන්නට වීමෙන් ඒ වනය ද ගමක් වැනි විය. ඒ බව දුටු බෝසතාණන් වහන්සේ “අසූ කෙළක් ධනය හැර පියා ආ අපට මේ වනයෙහි මෙසේ ලෝභයෙන් පලවැල සෙවීම නො හොබනේ ය. සෙස්සන්ට මෙහි ම මහණදම් පුරමින් සිටින්නට හැර මම වනයට ගොස් සැම දෙනාට ම ඵලාඵල නෙළාගෙන එමි” යි සිතා සවස් කාලයේ දී සරම දෙනා ම රැස් කරවා ඒ බව ඔවුනට දැනුම් දුන් හ.

එකල්හි සෙස්සෝ කියන්නාහු, ආචාර්‍ය්‍යයන් වහන්ස, අපි නුඹ වහන්සේ නිසා පැවිදි වූවෝ වෙමු. නුඹ වහන්සේ මෙහි ම මහණ දම් පුරමින් වැඩ සිටින සේක්වා, නැගණිය ද මෙහි ම සිටීවා, දාසිය ද නැඟණිය වෙත වෙසේවා, අපි අටදෙන වාරයෙන් වාරය ගොස් පලවැල සොයා එන්නෙමුය” යි කියා මහබෝසතාණන් වහන්සේ ගිවිස්වා එතැන් පටන් එසේ කරන්නට පටන් ගත්හ. වාරය පැමිණි තැනැත්තා වනයට ගොස් පලවැල සොයා අවුත් ගල්පුවරුවක් මත එකොළොස් කොටසකට බෙදා තබා ගෙඩිය ගසා තමන්ගේ කොටස ගෙන යන්නේ ය. සෙස්සෝ ද අවුත් තම තමන්ගේ කොටස් ගෙන තම තමන් වසන තැන් වලට ගොස් වළඳා මහණදම් පුරති. පසු කලෙක දී ඒ තාපසවරු පලවැල සෙවීමත් නවත්වා එක් විලෙකින් නෙළුම් අල ගෙනැවිත් වළඳමින් ධ්‍යාන භාවනා කරන්නට පටන් ගත් හ.

උන් වහන්සේලාගේ ශීල තේජසින් ශක්‍ර‍භවන ද සැලිණ. ශක්‍ර‍යා ද උන් වහන්සේලා ගැන විමසිල්ලෙන් විසී. අභ්‍යන්තරයෙහි පවත්නා දුර්ගුණයන් ක්‍රියාකාරී භාවයට පැමිණීමේ කාරණයක් නැතිව සිටි කල්හි සැම දෙනා ම ගුණවන්තයෝ ය. කෙනකු ගේ හොඳ නරක බව, දුර්ගුණ ඇති නැති බව, තේරුම් ගත හැකි වන්නේ ආභ්‍යන්තරික දුර්ගුණ එළිබසින කරුණු ඇති වන කල්හි ය. අරණ්‍යවල එබඳු කරුණු අඩු ය. එ බැවින් ආරණ්‍යකයන් ගේ ගුණාගුණ දැන ගැනීමට දුෂ්කර ය. සක්දෙව් රජු ඒ තවුසන් විමසනු පිණිස, එළිබසින්නට කරුණු නැති කල්හි සැඟවී තිබෙන ඇතැම් දුර්ගුණ එළිබසින වැඩක් කෙළේ ය. එනම් මහ බෝසතාණන් වහන්සේට තැබූ නෙලුම් අල කොටස පිට පිට තෙදිනක ම සැඟවීම ය.

පළමු වැනි දිනයේ ගෙඩි හඬ අසා මහබෝසතාණන් වහන්සේ පලවැල බෙදා තබන තැනට ගොස් බැලූ කල්හි තමන් වහන්සේ ගේ කොටස නුදුටහ. උන් වහන්සේ එදින තමන් වහන්සේට කොටසක් තබන්නට අමතක වන්නට ඇත ය යි සිතා තුෂ්ණීම්භූත වූහ. දෙවන දවසේ දී ද කොටස නො ලැබූ බෝසතාණෝ මාගේ යම් කිසි වරදකින් කොටස නො තබති යි සිතූහ. තුන් වන දවසේ දී ද කොටස නො ලැබ වරදක් ඇතහොත් ක්ෂමා කරවා ගනිමි යි සිතා සවස් කාලයේ දී ගෙඩිය ගසා පිරිස රැස් කරවා කාරණය පිරිසට දන්වා ඒ ඒ දිනවල පලාඵල නෙළීමට ගියවුන් ගෙන් තමන් වහන්සේට කොටස නො තැබීමේ හේතු විචාළහ. සියල්ලෝ ම ඒ ඒ ඒ දිනවල බෝසතාණන් වහන්සේට කොටස තැබූ බව කීහ.

එකල්හි බෝසතාණන් වහන්සේ කියන සේක් “මේ පින්වත්හු මාගේ කොටස තැබූ බව කියන්නාහු ය, මට නම් එය නො ලැබුණේ ය. එසේ වීමට මෙහි සොරකු විය යුතු ය. පැවිද්දන්ට මෙවැනි වැඩ නුසුදුසු ය. මෙය කළ තැනැත්තා කවරේ දැ යි දත යුතු ය” කීහ. පැවිදි පිරිසක් අතර මෙබඳු නො මනා දෙයක් සිදු වීම ගැන සැම දෙනා වහන්සේ ම මහත් සංවේගයට පැමිණියෝ ය. සක්දෙවිඳු ද තාපසවරුන් ගේ පුවත් විමසනු පිණිස එහි පැමිණ නො පෙනී සිටියේ ය.

එකෙණෙහි මහබෝසතාණන් වහන්සේගේ දෙටු සොහොයුරු උපකඤ්චන තාපසයෝ නැඟිට බෝසතාණන් වහන්සේට වැඳ තමන්ගේ ශුද්ධිය පැවසීමට අවසර ගෙන මෙසේ ශාප කළහ.

“අස්සං ගවං රජතං ජාතරූපං

භරියඤ්ච සො ඉධ ලභතං මනාපං

පුත්තේහි දාරෙහි සමංගි හොතු

භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද, හෙ තෙමේ අශ්වයන් ද ගවයන් ද රිදී ද රන් ද මනාප භාර්‍ය්‍යාවන් ද ලබාවා, අඹු දරුවන් ගෙන් යුක්ත වේවා” ය යනු එහි තේරුම යි.

අශ්වගවාදි ප්‍රිය වස්තූනි නිසා ඒවාට ඇලුම් කරන තැනැත්තේ යම් පමණ මහත් සතුටක් ලබා ද, හේ ඒවා නැති වීමන් පසු ව එපමණ ම හෝ එයට වඩා මහත් වූ හෝ ප්‍රිය විප්‍රයෝග දුඃඛයක් ලබන්නේ ය. එය ප්‍රිය වස්තූන් නිසා සිදු වන එක් නපුරෙකි. ඒවා නිසා සිදු වන තවත් දුක් බොහෝ ය. තාපසයන් වහන්සේ සොරා අශ්වගවාදි කාමයන් ලබාවා යි ශාප කළේ එහෙයිනි. ඒ තාපසවරුන් ගේ සැලකීමේ හැටියට ඒවා ලබා ගෙන සිටීමට වඩා තවත් නපුරක් නැත. එය අසා ගෙන සිටි සෙස්සෝ “පින්වත, එසේ නො කියනු මැනව, ඔබගේ ශාපය ඉතා දරුණු ය” යි කියා කන්වල ඇඟිලි ගස් ගත් හ. එතුමා ශාප කොට තමා ගේ පිරිසිදු බව ප්‍ර‍කාශ කොට හිඳ ගත් පසු දෙවන සහෝදර තාපසයෝ ද තමන් ගේ පාරිශුද්ධිය දැක්වීම සඳහා මෙසේ ශාප කළෝ ය.

“මාලඤ්ච සො කාසිකචන්දනඤ්ච

ධාරෙතු පුත්තාස්ස බහූ භවන්තු,

කාමෙසු තිබ්බං කුරුතං අපෙක්ඛං

භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ අල කොටස පැහැර ගත්තේ ද හේ මල් ද කශීරට සඳුන් ද දරාවා, ඔහුට දරුවෝ බොහෝ වෙත්වා, කාමයන් ගැන තියුණු ඇල්මක් ඔහුට වේවා” ය යනු එහි තේරුමයි. අනතුරු ව සෙස්සේා ද තම තමන්ට අභිමත පරිදි මතු දක්වන පරිදි ශාප කළහ.

“පහූතධඤ්ඤො කසීමා යසස්සි

පුත්තෙ ගිහී ධනිමා සබ්බකාමෙ,

වයං අපස්සං ඝරමාවසාතු

භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල කොටස සොරා ගත්තේ ද හේ බොහෝ ධනය ඇති කීර්තිමත් ගොවියෙක් වේවා. බොහෝ පුත්‍ර‍යන් ලබාවා, ගිහියෙක් වේවා, බොහෝ ධනය ඇත්තේ වේවා, රූපාදි සකල කාමයන් ඇත්තේ වේවා, වයස ගැන නො බලා මහලු කල ද ගිහිකම් කරන්නෙක් වේවා යනු එහි තේරුමයි.

“සො ඛත්තියො හොතු පසය්හකාරි

රාජාභිරාජා බලවා යසස්සී,

ස චාතුරන්තා මහිමා වසාතු

භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද හේ අනුන් පෙළන්නා වූ ක්ෂත්‍රියයෙක් වේවා, බලවත් වූ කීර්තිමත් වූ රාජාධිරාජයෙක් වේවා, හෙතෙමේ සියලු පොළොවට අධිපති වේවා” ය යනු එහි තේරුම යි.

“සො බ්‍රාහ්මණො හොතු අවීතරාගො

මුහුත්තනක්ඛත්තපථෙසු යුත්තො,

පූජෙතු නං රට්ඨපතී යසස්සී

භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ නැකැත් දන්නා වූ රාග සහිත වූ බ්‍රාහ්මණයෙක් වේවා, යසස් ඇත්තා වූ රජ ඔහු පුදාවා.”

“අජ්ඣායකං සබ්බසමත්තවෙදං

තපස්සිනං මඤ්ඤතු සබ්බලොකො,

පූජෙතු තං ජානපදා සමෙච්ච

භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස ගත්තේ ද, හේ සියලු වේදය හදාරන එකෙක් වේවා, සකල ලෝකයා හේ සිල්වතෙක් යයි සිතාවා, ජනපද වැසියෝ එක් ම ඔහු පුදත්වා.”

“චතුස්සදං ගාමවරං සමිද්ධං

අන්නං හි යො භුඤ්ජති වාසවෙන,

අවීතරාගො මරණං උපෙතු

භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ මිනිසුන් ද ධනය ද දර ද දිය ද යන මේ සතර උත්සන්න වූ ද, ශක්‍ර‍යා විසින් තෑගි කරන ලද්දක් බඳු වූ සමෘඬ ගමක් භුක්ති විඳීවා, එහි ආලය දුරු කර නො ගෙන මරණයට පැමිණේවා.”

“සො ගාමිණී හොතු සහායමජ්ඣෙ

නච්චෙහි ගීතෙහි පමොදමානො,

මා රාජතො ව්‍යසනමලත්ථ කිඤ්චි

භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද හේ ගම් ප්‍ර‍ධානයෙක් වේවා, යහළුවන් මැද ගී නැටුම්වලින් සතුටු වී සිටින්නෙක් වේවා, හේ රජුගෙන් කිසි ව්‍යසනයක් නො ලබාවා.”

නැගණිය ගේ ශාපය මෙසේ ය :-

“යං එකරාජා පඨවිං විජෙත්වා

ඉත්ථි සහස්සස්ස ඨපෙතු අග්ගං

සිමන්තිනීනං පවරා භවාතු

භිසානි තෙ බ්‍රාහ්මණ, යා අහාසි.”

“බ්‍රාහ්මණය, යම් ස්ත්‍රියක් ඔබ ගේ නෙළුම් අල පැහැර ගත්තී ද, ඇය මුළු පොළොව දිනූ අගරජ තෙමේ සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍ර‍ධාන කොට තබා ගනීවා, ඕ තොමෝ ස්ත්‍රීන්ට අග්‍ර‍ වේවා.”

ඉක්බිති දාසිය ද මෙසේ ශාප කළා ය.

“ඉසිනං හි සා සබ්බසමාගතානං

භුඤ්ජෙය්‍ය සාදුං අවිකම්පමානා,

චරාතු ලාභෙන විකත්ථමානා

භිසානි තෙ බ්‍රාහ්මණ, යා අහාසි.”

“බ්‍රාහ්මණය, නුඹ වහන්සේ ගේ නෙළුම් අල යම් තැනැත්තියක් පැහැර ගත්තා ද ඕ තොමෝ එක්රැස් වූ තාපසවරුන් මැද කිසි පැකිළීමක් නැති ව, උතුම් රසය අනුභව කරාවා, ලාභය නිසා කුහක කම් කරාවා” යනු එහි තේරුමයි.

දාසිය මෙසේ ශාප කරන ලදුයේ හිමියන් ඉදිරියේ ආහාර වැළඳීම දාසි දාසයනට ඉතාම අප්‍රිය වැඩක් බැවිනි. එතැනට පැමිණ සිටි අසපුවේ දෙටු රුකේ දෙවියා ද මෙසේ ශාප කෙළේ ය.

“ආවාසිකො හොතු මහා විහාරෙ

නවකම්මිකො හොතු කජඞ්ගලායං

ආලොකසන්ධිං දිවසා කරොතු

භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ ලොකු පන්සලක වාසය කරන්නේ වේවා, කජංගලා නම් නගරයෙහි නවකම් කරන්නේ වේවා, එක් දිනයකින් කවුළුවක වැඩ අවසන් කරන්නේ වේවා” යනු එහි තේරුම යි.

ඒ දෙවියා කසුප් බුදුන් සමයෙහි කජංගලා නම් නගරයක පරණ මහ පන්සලක අධිපතියකු වී එහි ප්‍ර‍තිසංස්කරණ වැඩ කිරීමෙන් බොහෝ දුක් විඳ ඇති බැවින් එය සිහි කොට එසේ ශාප කෙළේ ය. කලක් මිනිසුන්ට හසු වී සිටි ඔවුන් ගේ මිදී, වනයට ඇවිත් සිටින ඇතෙක් ද කලින් කල එහි පැමිණ තාපස වරුන්ට වඳින්නේ ය. ඌ ද මේ වේලාවේ එහි ඇවිත් සිට මෙසේ ශාප කෙළේ ය.

“සො බජ්ඣතං පාසසතෙහි ජම්හි

රම්මා වනා නීය්‍යතු රාජධානිං

තුත්තෙහි සො හඤ්ඤතු පාචනෙහි

භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.”

“බ්‍රාහ්මණය, ඔබතුමාගේ නෙළුම් අල යමෙක් පැහැර ගත්තේ ද හේ බොහෝ පාසයන් ගෙන් සය තැනින් බඳිනු ලබාවා, සිත්කලු වනයෙන් රාජධානියකට ගෙන යනු ලබාවා, කනමුල විදිනා කටුවලින් හා කෙවිටිවලින් විදිනු ලබාවා.”

එහි අහිගුණ්ඨිකයකු ගේ අතින් මිදී පලා ආ රිළවෙක් ද විය. ඌ ද මෙසේ ශාප කළේ ය.

“අලක්කමාලි තිපුකණ්ණවිද්ධො

ලට්ඨිභතො සප්පමුඛං උපෙතු,

සක්කච්චබද්ධො විසිඛං චරාතු

භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද ඔහුට ගෙල එළ වරා මාලය පළඳවනු ලදුව කනෙහි ඊයම් ආභරණ පළඳවන ලදුව කෝටුවලින් තළනු ලබමින් සර්පයා ගේ ඉදිරියට යන්නට සිදු වේවා” ය යනු එහි තේරුම යි.

රිළවා මේ කියන්නේ අහිගුණ්ඨිකයාට හසු වී සිටි කාලයේ දී විඳින්නට සිදු වූ දුක ගැන ය. මෙසේ ඒ තෙළෙස් දෙනා ම ශාප කොට අවසන් වූ කල්හි මහ බෝසතාණන් වහන්සේ නෙළුම් අල කොටස නැති වී යයි බොරු චෝදනාවක් කළහ යි සෙස්සන් තමන් වහන්සේ ගැන සිතති යි තමන් වහන්සේ ගේ ශුද්ධිය පැවසීම් වශයෙන් මෙසේ ශාප කළහ.

“යො චෙ අනට්ඨං නට්ඨන්ති චාහ

කාමෙ ච සො ලභතං භුඤ්ජතඤ්ච

අගාරමජ්ඣෙ මරණං උපෙතු

යො වා භොන්තො සංකති කිඤ්චිදෙව.”

“පින්වත්නි, යමෙක් නැති නො වූ තමා ගේ ආහාර කොටස නැති වූයේය යි කියා නම් හෙතෙමේ රූපාදි කාමයන් ලබාවා, කාමයන් පරිභෝග කෙරේවා, ගිහිගෙයි ම ඔහුට මැරෙන්නට සිදු වේවා” යනු එහි තේරුම යි.

මෙසේ තවුසන් විසින් ශාප කළ කල්හි ශක්‍ර‍යා බිය වී මේ තාපසයන් වහන්සේලා ලෝකයා විසින් උතුම් කොට සලකනු ලබන කාමයන්ට නින්දා කරති. එහි කාරණය විමසිය යුතු ය’ යි පෙනෙන්නට අවුත් බෝසතාණන් වහන්සේට වැඳ, “ස්වාමීනි ලෝකයෙහි සත්ත්වයෝ නොයෙක් අයුරින් වෙහෙසී කාමයන් සොයති, කාමයෝ බොහෝ දෙනාට ඉතා ප්‍රිය වෙති, ඒ කාමයන් කිනම් කරුණකින් තාපසයන් වහන්සේලා මෙසේ නින්දා කෙරෙතිදැ” යි විචාළේ ය. බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක.

“කාමෙසු වෙ හඤ්ඤරෙ බජ්ඣරෙ ච

කාමෙසු දුක්ඛඤ්ච භයඤ්ච ජාතං

කාමෙසු භුතාධිපතී පමත්තා

පාපානි කම්මානි කරොන්ති මොහා.

-

තෙ පාපධම්මා පසවෙත්වා පාපං

කායස්ස භෙදා නිරයං වජන්ති,

ආදීනවං කාමගුණෙසු දිස්වා

තස්වා ඉසයො නප්පසංසන්ති කාමෙ.”

“ශක්‍ර‍ය, කාමයන් නිසා දඬු මුගුරු ආදියෙන් පහරනු ලබති. බඳිනු ද ලබති. කාමයන් නිසා කායික මානසික දුඃඛය ද අත්තානුවාදාදි භය ද ඇති වේ. කාමයන් කෙරෙහි මුළා වූ සත්ත්වයෝ මෝහයෙන් පව්කම් කරති. ඔවුහු පව් රැස්කොට මරණින් මතු නරකයට යෙති. කාමයන්හි දෝෂය දක්නා බැවින් සෘෂීහු කාමයන්ට ප්‍ර‍ශංසා නො කෙරෙති” ය යනු එහි තේරුමයි. ශක්‍ර‍යා තමා කළ වරද ගැන තාපසවරුන්ගෙන් ක්ෂමාව ගෙන දෙව්ලොවට ගියේ ය. තාපස සමූහයා ද ධ්‍යාන වඩා බඹලොවට ගියෝ ය.

බුද්ධගුණාදිය යෝගාවචරයන්ට නිරාමිෂ ප්‍රීතිය උපදවා ගැනීමට ඇත්තා වූ කරුණු ය. එයිනුත් බුද්ධ ගුණය යෝගාවචරයන්ට විශේෂයෙන් ම ප්‍රීතිය හා උත්සාහය ඇති කරවන්නකි. යෝගාවචරයෝ දිනකට දෙතුන් වරක් රත්නත්‍ර‍ය වන්දනා කරති. වන්දනා කරන අවස්ථාව බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කර ගැනීමට ඉතා හොඳ අවස්ථාවෙකි. “ඉතිපි සො භගවා අරහං” යනාදි බොහෝ ගුණ කොටින් අසු කර තිබෙන්නා වූ ද, වටහා ගැනීමට දුෂ්කර ගැඹුරු ගුණ ඇතුළත් කර ඇත්තා වූ ද පාඨ කියා වඳින්නා වූ තැනැත්තාට ප්‍රීතියක් ඇති නොවේ. ප්‍රීතිය ඇති වන්නේ තමාට හොඳින් වැටහෙන, තමාගේ සිතට ප්‍රිය ගුණයන් තමාට තේරෙන භාෂාවකින් කියන සිතන කල්හි ය. පාළි භාෂාව සිය බස සේ පුරුදු වී තිබෙන පින්වතුන්ට කීමට මෙනෙහි කිරීමට පාළි ගාථා ද හොඳ ය. පාළි භාෂාව නො තේරෙන අය විසින් භාවිත කළ යුත්තේ සිය බසින් සැපැයුණු බුදු ගුණ පාඨයෝ ය. බුදු ගුණ දැක්වෙන ගාථා ශ්ලෝක ගී කවි වාක්‍යයන් නොයෙක් පොත්වල බොහෝ ඇත්තේ ය. ඒවායින් තමන්ට ප්‍රිය ගාථාදිය තෝරා ගෙන හෝ තමා විසින් ම සම්පාදනය කරගෙන හෝ සජ්ඣායනා කිරීමෙන් බුද්ධාලම්භන ප්‍රීතිය වඩ වඩා ඇති කර ගත හැකි ය.

ශීලය මෙනෙහි කිරීමෙන් යෝගාවචරයන් විසින් දිනකට වරක් වත් කළ යුත්තකි. භික්ෂුවකට සෑම කල්හි ම කුඩා ඇවැත්වලින් මිදී වාසය කරන්නට නුපුළුවන් වුවත් පරිජි ඇවැතට නො පැමිණ දීර්ඝ කාලයක් උපසම්පදාව නො නසා පවත්වා ගත හැකි වුවහොත් එය ද ඉතා උසස් දෙයකි. තමන් ගේ අතීතය මෙනෙහි කොට මම මෙපමණ වර්ෂ ගණනක් උපසම්පදාව නො නසා පවත්වා ගතිමි යි ප්‍රීති විය හැකි ය. උපසම්පදා ශීලය බොහෝ සිකපද ඇති ශීලයක් වන බැවින් එක ම වරදකට වත් කිසි දිනක නො පැමිණෙන ලෙස ඒ ශීලය රක්ෂා කළ හැකි අය ලෝකයෙහි දුර්ලභ ය. පෘථග්ජනයන් තබා සමහර විට රහත්හු ද ඇවැතට පැමිණෙති. පෘථග්ජන භික්ෂූන් ඇවැත්වලට පැමිණීම ගැන කියනුම කිම?

බොහෝ යෝගාවචරයන් තමන් ගෙන් රැකෙන සිකපද මහා සමූහය ගණන් නො ගෙන කඩවන සිකපද කිහිපයක් ගැන තැවෙති. කඩවන සිකපද ගැන තැවෙන්නට පුරුදු කර නො ගෙන රැකෙන හරිය ගැන සතුටු වන්නට පුරුදු කර ගත යුතු ය. ශීලයෙන් ප්‍රීතියක් ලැබිය හැක්කේ එකල්හි ය. නුවණ ඇත්තේ නම් පාරාජිකා නො වූ කවර භික්ෂුවකට වුව ද තමා ගේ ශීලය මෙනෙහි කොට ප්‍රීතිය ඇති කර ගත හැකි ය.

භික්ෂුවක් අතින් යම් කිසි සුළු වරදක් වුවත් කෙරෙනවා නම් ඒ වරද ම මතු කොට ගෙන ඒ භික්ෂුව ගේ ගුණ සියල්ල අවලංගු කරමින් දුශ්ශීලයෙක කියා ඒ භික්ෂුවට ගර්හා කිරීම මෙකල ගිහි පැවිදි බොහෝ දෙනකුට ම පුරුදු වී තිබෙන ඉතා ම නො මනා සිරිතකි. මේ සස්නෙහි දුශ්ශිල යන නම දෙන්නේ පරිජි ඇවැතට පැමිණ සම්පූර්ණයෙන් මහණකම නැති කර ගත් අයට ය. බුදුන් වහන්සේ වැඩ සිටින සමයෙහි කීටාගිරියෙහි අස්සජි, පුනබ්බසුක යන භික්ෂූන් දෙදෙන ස්ත්‍රීන් හා එක අසුනෙහි හිඳ ගැනීම, එක් යහන්හි නිදා ගැනීම, එක භාජනයේ ආහාර ගැනීම, ස්ත්‍රීන් හා නැටීම, නාටිකාවන්ට එය මතුයෙහි නැටීමට තමන් ගේ සිවුරු බිම අතුරා දීම, විකාලයෙහි ආහාර ගැනීම, සුරාපානය කිරීම යනාදි බොහෝ නො මනා කම් කළහ. එතෙක් වැරදි වැඩ කරන ඒ නො හික්මුණු භික්ෂු දෙනම ද දුශ්ශීලය යි කියා විනයයෙහි නැත.

ඒ භික්ෂූන් හැඳින්වීමට පාරාජිකපාළි නම් වූ විනය පොතෙහි එන්නේ “අලජ්ජිනො පාපභික්ඛු” යන වචන දෙකය. (පාරාජිකා පාළියේ සංඝාදිසේස කාණ්ඩයේ තෙළෙස්වන සංඝාදිසේසයේ නිදාන කථාව බලනු.) එපමණ මහත් වරද කළ අස්සජී පුනබ්බසුකයන්ට වත් නො කිය යුතු දුශ්ශිල කථාව මුදල් ටිකක් ළඟ තබා ගැනීම, කරත්තයකින් යාම යනාදි සුළු දෙයක් කරන්නකුටත් කීම ඒ අය කරන වරදට වඩා මහත් වරදක් බව කිය යුතු ය. “සුළු ඇවතකට වුව ද පැමිණෙන භික්ෂුව දුශ්ශිලය” යන වැරදි හැඟීම වනගත ව වෙසෙන ඇතැම් යෝගාවචරයන්ට ද නැත්තේ නො වේ. වනගත ව වෙසෙන භික්ෂුවට වුව ද කිසි ම ඇවැතකට නො පැමිණෙන ලෙස ශීලය සැම කල්හි නො රැකිය හැකි ය.

සමහර විට තමන් ද ඇවැත්වලට පැමිණෙන බැවින් ඉහත කී වැරදි හැඟීම ඇති, වනගත යෝගාවචරයන්ට ද තමා ගේ ශීලය ගැන ප්‍රීතියක් නො ලැබේ. ඒ වැරදි හැඟීම් නැති කර ගෙන සමහර විට තමන් අතින් යම් යම් වැරදි සිදු වුව ද ඒවා ගැන කුකුස් උපදවන්නේ නැතුව තමන් අතින් රැකෙන කොටස උසස් කොට සලකා ශීලය මෙනෙහි කර ප්‍රීතිය ඇති කර ගන්නට යෝගාවචරයන් විසින් උගත යුතු ය. සිදු වූ වරදට ප්‍ර‍තිකාර කර ගත යුතු ය. ප්‍ර‍තිකාර කර ගන්නට නුපුළුවන් වුව හොත් හැකි වූ විටෙක එය කර ගන්නට බලාපොරොත්තු විය යුතු ය. සිදු වූ වරදවලට ප්‍ර‍තිකාර කර ගැනීමේ බලාපොරොත්තුව නො හළ යුතු ය.

ගිහි පැවිදි කා විසිනුත් ත්‍යාග ගුණයෙහි ද පිහිටිය යුතු ය. ධනය හැර, ධන සැපයීමේ නො යෙදෙමින් වෙසෙන යෝගාවචරයන් හට දීමට ධනය නම් නැත. එහෙත් ඒ යෝගාවචරයෝ ද තුණුරුවන් විෂයයෙහි මල් පූජා පහන් පූජා ආදිය කෙරෙති. ඒවා ද ත්‍යාග සංඛ්‍යාවට ම ඇතුළත් වේ. “මා විසින් මෙතෙක් මල් පුදා තිබේය, මෙතෙක් පහන් පුදා තිබේ ය” යනාදීන් මෙනෙහි කොට යෝගාවචරයන්ට තමන් ගේ ත්‍යාගය පිළිබඳව ප්‍රීතිය ඇති කර ගත හැකි ය. මෙකල වෙසෙන ඇතැම් යෝගාවචර භික්ෂූහු නගර ග්‍රාමයන්හි වෙසෙන භික්ෂූන්ට ද වඩා ලාභ ලබති. එබැවින් ඒවායින් ඒ යෝගාවචරයනට ද දන් දිය හැකි ය. අල්පලාභී තැනැත්තන් විසින් තමන්ට ඇති සැටියෙන් දෙන අල්ප දානය ද කුශල පක්ෂයෙන් අල්ප නො වේ. එය ධනවතුන් දෙන මහා දානයකට නො දෙවෙනි ය.

“අප්පස්මෙකෙ පවෙච්ඡන්ති - බහුනෙකෙ නදිච්ඡරෙ.

අප්පස්මා දක්ඛිණා දින්නා - සහස්සෙන සමං මිතා.”

යනුවෙන් දුගියකු ගේ රුපියලක් අගනා දානය ධනවතකු දහසකින් දෙන දානයට සමාන වන බව ප්‍ර‍කාශිත ය. එබැවින් යෝගාවචර භික්ෂුව විසින් තමා සිඟා ලබන ආහාරයෙන් දෙන දානය ද, කුඩා දානය ද, දහසකින් ප්‍ර‍මාණ කළ යුතු දානයක් බව කිය යුතු ය. ප්‍ර‍තිග්‍රාහකයකු ලද හොත් පිඬු සිඟා වළඳන පැවිද්දාට ද එයින් දන් දී මහා බෝධිසත්ත්ව අකීර්ති තාපසයන්ට මෙන් මහා ප්‍රීතියක් ඇති කර ගත හැකි ය.

අකීර්ති තාපසයන්ගේ ප්‍ර‍වෘත්තිය

අකීර්ති පණ්ඩිතයෝ මාපියන් ගෙන් තමන්ට හිමි වූ අසූ කෙළක් ධනය දන් දී පැවිදිව අහිදීප නම් වූ දිවයිනක පන්සලක් කර ගෙන විසූහ. උන් වහන්සේ ආහාර පිණිස කොහිවත් නො ගොස් කරගස්වල ගෙඩි ඇති කල්හි ගෙඩිත්, නැති කල්හි කොළත් ආහාර කර ගෙන එහි ම විසූ හ. උන් වහන්සේගේ ශීල තේජසින් සක් දෙවිඳු ගේ පඬුපුල් අස්න හුණු වී ශක්‍ර‍යා මිනිස් පියස බලනුයේ උග්‍ර‍ තපස් ඇති අකීර්ති තාපසයන් වහන්සේ දැක, “මේ තෙමේ මාගේ සම්පත්තිය උදුරා ගැනීමට වත් මේ තපස කරන්නේ දැයි විමසිය යුතුය” යි සිතා මහබෝසතාණන් වහන්සේ කරකොළ තම්බා වළඳන්නට සූදානම් වන කල්හි බ්‍රාහ්මණ වේශයෙන් එතැනට පිඬු සිඟා ආයේ ය. මහ බෝසතාණන් වහන්සේ පිඬු පිණිස පැමිණ සිටින බමුණා දැක, “බොහෝ කලකින් ප්‍ර‍තිග්‍රාහකයකු දුටිමි” යි ඉතා සොම්නසට පැමිණ පිසූ භාජනය සමඟ ම කරකොළ සියල්ල ම ඔහු වෙත ගොන ගොස්, තමන් වහන්සේ පිණිස මඳකුදු ඉතිරි කර නො ගෙන ලොවුතුරා බුදු බව පතා සියල්ල ම බ්‍රාහ්මණයා ගේ භාජනයෙහි බහාලූහ. බ්‍රාහ්මණයා එය ගෙන අතුරුදහන් විය.

මහබෝසතාණන් වහන්සේ දෙවනු ව ආහාර නො පිස, ප්‍රීති සුවයෙන් ඒ දින ගත කර, පසු දිනයෙහි ද කර කොළ තම්බා තබා පන්සල් දොරකඩ වැඩ සිටියහ. ශක්‍ර‍යා එදා ද එසේ ම පිඬු සිඟා ආවේ ය. මහාසත්ත්වයන් වහන්සේ එදින ද සියල්ල ම ඔහුට පිළිගන්වා නිරාහාර ව ප්‍රීතියෙන් ම ඒ දිනයත් ගත කළහ. තුන්වන දිනයේ ද කර කොළ තම්බා තබා හුන් කල්හි පෙර සේම බ්‍රාහ්මණයා පිඬු පිණිස පැමිණියේ ය. ‘දෙදිනක් නිරාහාරව සිටියෙමි’ ය කියා කිසි පැකිළීමක් නැති ව තමන් වහන්සේ පිණිස මඳකුදු ඉතිරි කර නො ගෙන එදිනත් සියල්ල ම බ්‍රාහ්මණයාට දුන්හ. මහබෝසතාණෝ දවල් කාලයෙහි පන්සල් දොර කඩ වැඩහිඳ තෙදිනක් නිරාහාර ව විසීමෙන් වූ මහත් දුබල බවක් ඇත ද එය ගැන කිසි කම්පාවක් නැති ව තමන් වහන්සේ දුන් දානය මෙනෙහි කරමින් ප්‍රීතිවෙමින් සිටින කල්හි, ශක්‍ර‍යා පෙනී සිට උන් වහන්සේගෙන් කරුණු විචාරා පැහැදී, වර කීපයක් ද දී, දෙව්ලොවට ගියේ ය. බෝසතාණන් වහන්සේට තමන් සතු අසූ කෝටියක් ධනය දන් දීමෙන් ලැබුණු ප්‍රීති සුඛයට වඩා මහත් ප්‍රීතියක් ලුණුත් නැති කරකොළ දන් දීමෙන් ලැබිණ. තෙදිනක් නිරාහාර ව සිට එය කළ හැකි වූයේ එහෙයිනි. ධනවතකු දහස් ගණන් ධනය වැය කොට මහදන් දී ලබන ප්‍රීතියට වඩා මහත් ප්‍රීතියක් සුළු දෙයක් දී යෝගාවචරයකුට ලැබිය හැකි බව මේ ප්‍ර‍වෘත්තියෙන් දත හැකි ය.

“ලූඛපුග්ගලපරිවජ්ජනතා” යනුවෙන් දැක්වෙන රළු ගුණැති පුඟුලෝ නම් ක්‍රෝධ ඊෂ්‍යා මානයන් අධික ව ඇත්තා වූ අනුන්ට පීඩා කරන අනුන් හෙළා තළා කථා කරන නිතර කිපෙන පුද්ගලයෝ ය. එවැනි පුද්ගලයන් හා එක් ව වාසය කරන තැනැත්තාට නිතර පීඩා විඳින්නට සිදුවේ. එද ප්‍රීතියට බාධාවෙකි. මොහු කුමක් කියා ද කුමක් කෙරේදැ යි නිතර බියෙන් සැකයෙන් පරෙස්සමෙන් වාසය කරන්නට සිදු වෙයි. එද ප්‍රීතියට බාධාවෙකි. එසේ සැකයෙන් බියෙන් වාසය කරන තැනැත්තාට බුද්ධගුණාදිය මෙනෙහි කොට ප්‍රීතියක් ඇති කර ගැනීමට ද අපහසු වේ. එබැවින් එබඳු පුඟුලන් ගෙන් ඈත් වීම පීතිසම්බොජ්ඣංගයට හේතු වේ.

අනුන්ගේ යහපතට කැමති කරුණාව මෛත්‍රිය ඇති සත්පුරුෂයන් හා එක්ව වාසය කරන්නා වූ තැනැත්තාට ඒ පින්වතුන්ගෙන් තමන්ට වන යහපත නිසා ද, ඔවුන්ගේ ප්‍රිය කථා ඇසීම නිසා ද නිතර ප්‍රීතිය ඇති වේ. එබැවින් එබඳු පුඟුලන් සේවනය පීතිසම්බොජ්ඣංගයට හේතු වේ.

පස්සද්ධිසම්බොජ්ඣංගයේ උත්පත්ති හේතු

“අත්ථි භික්ඛවෙ, කායපස්සද්ධි චිත්තපස්සද්ධි, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣංගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධි-සම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරියා.”

“මහණෙනි, කායප්‍ර‍ශ්‍ර‍බ්ධියක් ද ඇත, චිත්තප්‍ර‍ශ්‍ර‍බ්ධියක් ද ඇත. එහි යෝනිසෝමනස්කාරය බහුල කොට පැවැත්වීම නූපන් පස්සද්ධිසම්බොජ්ඣංගයා ගේ ඉපදීමට ද, උපන් පස්සද්ධි- සම්බොජ්ඣංගයේ වැඩීමට හා සම්පූර්ණ වීමට ද ආහාරය ය” යනු එහි තේරුම යි. අටුවාවෙහි දැක්වෙන පස්සද්ධිසම්බොජ්ඣංග හේතු මෙසේ ය :-

“සත්ත ධම්මා පස්සද්ධිසම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති, පණීතභොජනසෙවනතා, උතුසුඛසෙවනතා, ඉරියා- පථසුඛසෙවනතා, මජ්ඣත්තපයොගතා, සාරද්ධකායපුග්ගලපරිවජ්ජනතා, පස්සද්ධකායපුග්ගලසෙවනතා, තදධිමුත්තතාති.”

ප්‍ර‍ණීත භෝජනය වළඳන බවය, සැප ඇති සෘතු ගුණය සේවනය කරන බවය, සැප වූ ඉරියවු සේවනය කරන බව ය, මධ්‍යස්ථ ප්‍රයෝග ඇති බව ය, නො සන්සුන් කය ඇති පුඟුලන් දුරු කරන බවය, සන්සුන් කය ඇති පුඟුලන් සේවනය කරන බවය, පස්සද්ධි සම්බොජ්ඣංගයට නැමුණු බර වුණු සිත් ඇති බවය, යන මේ කරුණු සත පස්සද්ධි සම්බොජ්ඣංග හේතූහු ය.

ප්‍ර‍ණීත භෝජනයන් වැළඳූ කල්හි ශරීරය බලවත් වී පිනා ගොස් දුබල බව හේතු කොට ශරීරයේ ඇති වන අමාරුකම් සන්සිදෙයි. ඒ හේතුවෙන් යෝගාවචරයා ගේ සිත ද සන්සිදේ. ප්‍ර‍ණීත භෝජන සේවනය කරන බව පස්සද්ධිසම්බොජ්ඣංගයට හේතුවකැයි කියන ලදුයේ එහෙයිනි. ප්‍ර‍ණීත භෝජන පස්සද්ධි සම්බොජ්ඣංගයට හේතුවකැ යි කීමෙන් යෝගාවචරයකුට ප්‍ර‍ණීත භෝජන වුවමනා ම ය යි කාරණය වරදවා නො ගත යුතු ය. ප්‍ර‍ණීත භෝජන නො ලබන්නා වූ යෝගාවචරයා හට ද පස්සද්ධිසම්බොජ්ඣංගය අනික් හේතූන්ගෙන් ඇති වෙයි.

එබැවින් ප්‍ර‍ණීත භෝජනයට ලොල් ව ඒවා සොයන්නට උත්සාහ නො කළ යුතු ය. ප්‍ර‍ණීත භෝජන නො ලැබීම නිවනට බාධාවක් නො වේ. ආහාරයට ලොල් ව ප්‍ර‍ණීත භෝජන සොයන්නට යාම නම් නිවන් ලැබීමට බාධකයෙකි. මිහිරි බොජුන් පස්සද්ධිසම්බොජ්ඣංගයට පමණක් නොව බොහෝ කෙලෙසුන්ට ද ආහාරයෙකි. පස්සද්ධි සම්බොජ්ඣංගය පිණිස ප්‍ර‍ණීත භෝජන සේවනය කරන යෝගාවචරයා විසින් එය නුවණින් කළ යුතු ය. නො එසේ වුවහොත් එය කෙලෙස් වැඩීමට ම හේතු විය හැකි ය. ලෝකයෙහි ප්‍ර‍ණීත භෝජනය යි සම්මත කිරි ගිතෙල් මස් මාලු ආදිය හැම දෙනාට ම පථ්‍ය නොවේ. ඇතැමකුට ඒවා අපථ්‍ය නොවේ. යමකුට ඒවා අපථ්‍ය වේ නම් ඔහුට ඒවා ගැනීම පස්සද්ධි සම්බොජ්ඣංගයට බාධක වේ. ප්‍ර‍ණීත හෝ වේවා අප්‍ර‍ණීත හෝ වේවා යම් භෝජනයක් යෝගාවචරයාගේ ශරීරයට හිත නම් එය ඒ යෝගාවචරයාට පස්සද්ධිසම්බොජ්ඣංගය ඇති වීමට ද හේතු වේ. ලද දෙයින් සතුටු වන්නට පුරුදු කර ගැනීම යෝගාවචරයන්ට හොඳම ක්‍ර‍මය ය. යෝගාවචරයකු විසින් අනික් ආහාරයක් සොයන්නට උත්සාහ කළ යුත්තේ ලැබෙන ආහාරය තමාට පථ්‍ය නොවත හොත් ය.

ආහාරවලින් ඉතා ම හොඳ ආහාරය නම් තමන් විසින් ම පිළියෙළ කර ගන්නා ආහාරය ය. තමන් විසින් ම ආහාර පිස වැළඳීම විනය විරෝධී බැවින් භික්ෂූන්ට එය නො ලැබිය හැකි ය. තමන් ගේ ආහාරය තමන් විසින් නො පිසින්නා වූ තැනැත්තන්ට හොඳ ආහාරය තමනට ඉතා හිතවතකු විසින් පිළියෙළ කර දෙන ආහාරය ය. එය ලැබෙන්නේ ද ගිහියන්ට ය. ආදරයෙන් ගෞරවයෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් භික්ෂූන් වහන්සේ සුවපත් කරනු කැමැත්තෙන් ආහාර පිළියෙළ කොට පැවිද්දන්ට පිරිනමන සැදැහැවත්හු ද ඇත. ඔවුන් පිරිනමන ආහාරය ද හිතවතුන් දෙන ආහාරය ම ය. භික්ෂූන් වහන්සේ සුවපත් කිරීමේ අදහසින් තොර ව දෙන ආහාරය කොතෙක් වටිනා කොතෙක් ප්‍ර‍ණීත ආහාරයක් වුව ද එය හිතවතකු දෙන ආහාරය සේ ශරීරයට හිත නො වේ. ප්‍ර‍ණීත භෝජන සේවනය කළ යුතු දුබල සිරුරු ඇති යෝගාවචරයන් විසින් මේ කරුණු ටික සිතට ගත යුතු ය. ප්‍ර‍ණීත භෝජනය විශේෂයෙන් හේතු වන්නේ කායපස්සද්ධියට ය. කායපස්සද්ධිය පස්සද්ධිසම්බොජ්ඣංගයට හේතු වේ.

“උතුසුඛසෙවනතා” යන මෙහි සෘතුව යනු ශීතෝෂ්ණ දෙක ය. සෘතුව ද මිනිස් සිරුරට සුව දුක් ඇති කිරීමෙහි මහත් බලයක් ඇතියකි. ශීතල අපථ්‍ය ශරීරයට එයින් බොහෝ දුක් ඇති කරනු ලැබේ. උෂ්ණය අපථ්‍ය ශරීරයට එයින් බොහෝ දුක් ඇති කරනු ලැබේ. සාමාන්‍යයෙන් අධික වූ ශීතෝෂ්ණ දෙක සැම ශරීරයකට ම දුක් ඇති කරයි. ඒ ශාරීරික දුඃඛය පස්සද්ධි සම්බොජ්ඣංගය ඇති වීමට බාධාවෙකි. ඒ ඒ ශරීරයට යෝග්‍ය වන පමණට ශීතෝෂ්ණ ලැබීමෙන් සිරුරට සැප ඇති වේ. එයින් පස්සද්ධිසම්බොජ්ඣංගය ඇති වේ. හොඳ සෘතුගුණය ඇති පෙදෙස් හා ස්ථාන සෙවිය යුත්තේ දුබල යෝගාවචරයන් විසිනි. කෝකටත් ඔරොත්තු දෙන ශක්තිමත් නිරෝගී ශරීර ඇති යෝගාවචරයනට නොතැනක් හොඳ ය. තමා වාසය කරන පෙදෙසෙහි හෝ ස්ථානයෙහි සෘතුගුණය තමා ගේ ශරීරයට අහිත නම් යෝගාවචරයා විසින් අන් පෙදෙසක් - අන් තැනක් සොයා ගැනීමට උත්සාහ කිරීම හොඳ ය. කලින් කල ස්ථාන මාරු කිරීමත් යෝගාවචරයන්ට හොඳ ය.

“ඉරියාපථසුඛසේවනතා” යන මෙහි ඉරියාපථ නම් ගමනය, සිටීමය, හිඳීමය, නිදීමය යන සතර ය. සත්ත්වයන් ශරීරය පවත්වන්නේ ඒ ඉරියව් වලිනි. ඉරියව්ව ද සුව දුක් ඇති කිරීමේ මහත් බලයක් ඇතියකි. එක් ඉරියව්වකින් ම බොහෝ කල් විසීම ද ශරීරයට පීඩාවෙකි. ඇතමුන්ට ඇතැම් ඉරියවුවකින් මඳ කලක් වුව ද විසීම පීඩාවෙකි. ශරීරයට පීඩා වීම පස්සද්ධිසම්බොජ්ඣංගයට බාධාවෙකි. ශරීරයට පහසු ඉරියවුවලින් විසීම සැපයෙකි. ඒ සැපය පස්සද්ධිසම්බොජ්ඣංගයට හේතුවෙකි. එබැවින් සැප ඇති වන ඉරියවු සේවනය කිරීම පස්සද්ධිසම්බෝජ්ඣංගයට හේතුවක් වශයෙන් දක්වන ලදි. පස්සද්ධිසම්බොජ්ඣංගය පිණිස සැප ඇති ඉරියවු සේවනය කිරීමද නුවණින් කළ යුත්තකි. පමණ ඉක්මවා සැප ඇති ඉරියවු සේවනය කරන්නට යාමෙන් භාවනාවෙන් පිරිහිය හැකි ය.

“මජ්ඣත්තපයොගතා” යන්නෙහි අදහස මෙසේ ය. සැප දුක් දෙක කිසි හේතුවක් නැති ව ඉබේ ම ඇති වන්නකැයි ගැනීම එක් අන්තයෙකි. දෙවියන්ගේ කැමැත්තේ සැටියට සත්ත්වයන්ට සැප දුක් ලැබේ ය යනාදීන් හේතුව වරදවා ගැනීම එක් අන්තයෙකි. ඒ අන්ත දෙකින් එකකටවත් නොගොස් කර්මය සත්ත්වයන් ගේ සැප දුක් දෙකට හේතුව වශයෙන් පිළිගැනීම මධ්‍යම ප්‍ර‍තිපදාව ය. “මජ්ඣත්තපයොගතා” යනුවෙන් දැක්වෙන්නේ කියන ලද අන්ත දෙකට නො ගොස් “කර්මය සත්ත්වයන්ට අයත් දෙයකි. කර්මයෙන් සත්ත්වයෝ සුවදුක් ලබන්නාහ” යි මෙනෙහි කරන බව ය. එසේ මෙනෙහි කිරීම කාය චිත්ත පස්සද්ධි දෙක හෙවත් පස්සද්ධිසම්බොජ්ඣංගය ඇති වීමේ හේතුවෙකි. මේ මජ්ඣත්තපයෝගතා යන්න ගැන අටුවාවෙහි හා ටීකාවෙහි දැක්වෙන අදහස ය.

කර්මය තමා අයත් දෙය වශයෙන් සැලකීම, කර්මය සැප දුක් ලැබීමේ හේතුව කොට සැලකීම, පස්සද්ධියට හේතුවකැ’යි කීම තේරුම් ගැනීමට දුෂ්කර කරුණෙකි. පමණ ඉක්මවා යෝග ක්‍රියාවෙහි අධික ව යෙදීමය, කළ යුතු පමණට භාවනාවෙහි නො යෙදීමය යන දෙස පස්සද්ධියට බාධක කරුණු දෙකකි. පමණ ඉක්මවීම ය, පමණට ද කටයුත්තෙහි නො යෙදීමය යන්න අන්ත දෙකට නො ගොස් මධ්‍යම ප්‍ර‍මාණයෙන් භාවනාවෙහි යෙදෙන බව මජ්ඣත්තපයෝගතා යනුවෙහි අදහස හැටියට ගත යුතු සේ ද පෙනේ. මෙය විමසිය යුතු තැනකි.

නො සන්සුන් කය ඇති පුද්ගලයෝ නම් අත් පා ගල් මුල් ආදියෙන් අන්‍යයන්ට පහර දෙන නො මනා පැවතුම් ඇති නපුරු අය ය. එබඳු නපුරු ගති ගුණ නැති පුද්ගලයෝ සන්සුන් කය ඇති පුද්ගලයෝ ය. නොසන්සුන් කය ඇති පුද්ගලයන් ගෙන් වෙන් ව වාසය කිරීම හා සන්සුන් කය ඇතියන් හා එක් ව වාසය කිරීමත් පස්සද්ධියට හේතු වේ.

සමාධි සම්බොජ්ඣංගය ඇති වීමේ හේතු

“අත්ථි භික්ඛවෙ, සමථනිමිත්තං, අබ්‍යග්ගනිමිත්තං, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා සමාධි සම්බොජ්ඣංගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධි සම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරියා.”

මේ පාඨයෙහි සමථනිමිත්ත අබ්‍යග්ගනිමිත්ත යන වචන දෙකින් ම කියැවෙන්නේ සමාධිය ය. සිතෙහි එක් අරමුණක නොසැලී පිහිටීමට කාරණය යන අර්ථයෙන් සමාධිය සමථ නිමිත්ත නම් වේ. සිත නානාරම්මණයෙහි විසිර නො යාමට කාරණය යන අර්ථයෙන් එය ම අබ්‍යග්ගනිමිත්ත නම් වේ.

“මහණෙනි, සමථ නිමිත්තක් ද අබ්‍යග්ග නිමිත්තක් ද ඇත. එය පිළිබඳ ව කාරණානුකූල ව මෙනෙහි කිරීම් බහුල බව නූපන් සමාධි සම්බොජ්ඣංගයේ ඉපදීමට ද උපන් සමාධිසම්බොජ්ඣංගයේ වැඩීමට හා සම්පූර්ණ වීමට ද හේතුව වේ” ය යනු ඉහත දැක්වූ පාඨයේ අදහස ය.

අටුවාවෙහි දැක්වෙන සමාධි සම්බොජ්ඣංග හේතු එකොළොසෙකි. ඒ මෙසේ ය.

“එකාදස ධම්මා සමාධිසම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති - වත්ථුවිසදකිරියතා, ඉන්ද්‍රියසමත්තපටිපාදනතා, නිමිත්තකුසලතා, සමයෙ චිත්තස්ස පග්ගහණතා, සමයෙ චිත්තස්ස නිග්ගහණතා, සමයෙ සංපහංසනතා. සමයෙ අජ්ඣුපෙක්ඛණතා, අසමාහිතපුග්ගල-පරිවජ්ජනතා, සමාහිතපුග්ගලසෙවනතා, ඣානවිමොක්ඛපච්ච-වෙක්ඛණතා, තදධිමුත්තතාති.”

(1) ආභ්‍යන්තරික බාහ්‍ය වස්තූන් පිරිසිදු කරගන්නා බවය, (2) ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය ධර්මයන් බලයෙන් සම ව පවත්වා ගන්නා බවය (3) කසිණාදි භාවනාරම්මණයන් ගේ නිමිති සිතට ගැනීමෙහි සමත් බව ය, (4) සිතට අනුබල දීමට සුදුසු අවස්ථාවෙහි අනුබල දෙන බව ය, (5) චිත්තයේ වේගය අඩු කිරීමට සුදුසු අවස්ථාවෙහි චිත්ත වේගය අඩු කරන බවය, (6) සිත සතුටු කරවීමට සුදුසු අවස්ථාවෙහි සතුටු කරවන බවය, (7) සිත සුදුසු සේ භාවනාවෙහි සම ව පවත්නා කල්හි සිත ගැන මධ්‍යස්ථ වන බව ය, (8) සමාධියක් නැති පුද්ගලයන් හරනා බව ය, (9) සමාධියක් ඇති පුද්ගලයන් සේවනය කරන බවය, (10) ධ්‍යානමාර්ග ඵලධර්මයන් මෙනෙහි කරන බව ය, (11) සමාධි සම්බොජ්ඣංගය ඉපදවීමෙහි නැමුණු සිත් ඇති බව ය, යන මේ කරුණු එකොළොස සමාධිසම්බොජ්ඣංගය ඇති වීමේ හේතූහු ය.

මෙහි “වත්ථුවිසදකිරියතා - ඉන්ද්‍රියසමත්තපටිපාදනතා” යනුවෙන් දැක්වෙන පළමුවන දෙවන කරුණු දෙක ධම්මවිචයසම්බොජ්ඣංගයේ ද හේතුහු වෙති. ඒ ධර්මයෝ දෙදෙන ධම්මවිචයසම්බොජ්ඣංගය දැක් වූ තැන දී විස්තර කරන ලද බැවින් මෙහි විස්තර නො කරනු ලැබේ. ඒ කරුණු දෙක ප්‍ර‍ධාන වශයෙන් හේතු වන්නේ සමාධියට ය. ධම්මවිචයට හේතු වන්නේ සමාධියට හේතු වීම් වශයෙනි. (සමාහිතො යථාභූතං පජානාති)

කසිණාදි භාවනා, සමාධිය ලැබෙන පරිදි, සිතට වැටහෙන පරිදි කළ යුතු ක්‍ර‍ම ඇත්තේ ය. “කසිණාදි ආරම්මණයන්ගේ නිමිති සිතට ගැනීමෙහි සමත් බව ය” යි කියන ලදුයේ ක්‍ර‍මානුකූලව ඒ ඒ භාවනාව කරන්නට දන්නා බව ය. ක්‍ර‍මය වරදවා භාවනාවෙහි යෙදෙන්නහුට සමාධිය නො ලැබේ. ලැබෙන්නේ ද බොහෝ කල් ගතවීමෙන් මිස පහසුවෙන් ඉක්මනින් නො ලැබේ. එබැවින් ක්‍ර‍මය නො වරදවා භාවනා කිරීම දැන ගැනීම සමාධිසම්බොජ්ඣංගයට කරුණු වේ.

සමහර අවස්ථාවකදී වීර්‍ය්‍යය හීන වීම් ආදියෙන් යෝගාවචරයා ගේ සිත හැකිළෙන්නට - පසුබසින්නට වන්නේ ය. එසේ වුව හොත් එය නො හැකිළීම - නො පසු බැසීම සඳහා සිතට අනුබල දිය යුතු - සිත නඟා සිට විය යුතු අවස්ථාව ය. එබඳු අවස්ථාවල දී සිතට අනුබල දී චිත්තවේගය චිත්තබලය වැඩි නො කළ හොත් නො ලැබූ සමාධිය නො ලැබෙන්නේ ය. ලැබූ සමාධිය ද පිරිහෙන්නේ ය. එබැවින් සිත හැකිළෙන - පසු බසින අවස්ථාවල දී සිතට බල ගැන්වීම සමාධි සම්බොජ්ඣංගයට කරුණක් වේ. සිතට බල ගැන්වීමට නොහොත් සිත නඟා සිටුවීමට - චිත්ත වේගය වැඩි කිරීමට කළ යුත්තේ ධම්මවිචය, විරිය, පීති සම්බොජ්ඣංගයන් ඇති කිරීම ය.

සමහර අවස්ථාවක දී යෝගාවචරයාගේ චිත්තවේගය පමණට ද වඩා අධික වේ. එයින් සිත සැලෙන්නට වන්නේ ය. එද සමාධියට බාධාවෙකි. එසේ වුවහොත් ඒ අවස්ථාවේ චිත්ත වේගය අඩුකර ගත යුතු ය. චිත්තවේගය අඩු කිරීමට සුදුසු අවස්ථාවේදී චිත්තවේගය අඩු කිරීම ද සමාධිසම්බොජ්ඣංගයට හේතු වේ. චිත්තවේගය අඩු කිරීමට කළ යුත්තේ පස්සද්ධි, සමාධි, උපෙක්ඛා සම්බොජ්ඣංගයන් වැඩීම ය.

“සමයෙ චිත්තස්ස සංපහංසනතා” යනුවෙන් දැක්වෙන සුදුසු අවස්ථාවන්හි සිත පිනවීම මෙසේ දත යුතු. දානයට අලෝභය ආසන්න කාරණය වන්නාක් මෙන් ද, ශීලයට මෛත්‍රිය ආසන්න කාරණය වන්නාක් මෙන් ද, භාවනාවට ප්‍ර‍ඥාව ආසන්න කාරණය වේ. ආසන්න කාරණය යනු ඒ ඒ දෙය ඇති වීමට ඇති හේතූන් අතුරෙන් ඉතා සමීප හේතුව ය. භාවනා කිරීමේ දී විශේෂයෙන් ප්‍ර‍ඥාව දියුණු - තියුණුව තිබිය යුතු ය. ප්‍ර‍ඥාවගේ ක්‍රියාකාරිත්වය භාවනා කර්මයට විශේෂයෙන් ම අවශ්‍ය ය. ලුණු ඇඹුල් ආදිය යොදා මනා කොට පිළියෙල නො කළ ආහාර ආශ්වාද රහිත වන්නා ක් මෙන් ප්‍ර‍ඥාවගේ ක්‍රියාකාරිත්වය සෑහෙන පමණට නො ලබා භාවනා කරන යෝගාවචරයාගේ සිත ආස්වාද රහිත වේ.

ප්‍ර‍ඥාවගේ ක්‍රියාකාරිත්වය නො ලබන නතැනැත්තහුගේ යෝග ක්‍රියාව මැනවින් සිදු නොවන බැවින් ඒ යෝගාවචරයාට කෙළෙස් සන්සිඳීමෙන් වන්නා වූ ද, නානාරම්මණයන් කරා නො ගොස් සිත සන්සිඳීමෙන් වන්නා වූ ද, ආස්වාදය නො ලැබේ. යෝගාවචරයාගේ සිතට තමන් කරන භාවනාව පිළිබඳ ආස්වාදයක් නැති බව සමාධිය නො ලැබීමට හා පිරිහීමට ද කරුණක් වේ. සිත ආස්වාදයක් නො ලබා සිටින අවස්ථාවලදී එයට ආස්වාදයක් ඇති කර දීමෙන් ලබා දීමෙන් සමාධිය ඇති වේ. ඇති වූ සමාධිය වැඩේ. එබැවින් ආස්වාදයක් ලබාදීම් වශයෙන් සිත සතුටු කර ගැනීම සමාධිසම්බොජ්ඣංගය ඇති වීමට හා වැඩීමට කරුණක් වේ. ආස්වාද විරහිත සිතට ආස්වාදයක් සතුටක් ලැබීමට කළ යුත්තේ අෂ්ටසංවේග වස්තූන් හෝ බුද්ධගුණාදිය හෝ මෙනෙහි කිරීම ය. සංවේග වස්තු ය යි කියනුයේ ධර්ම සංවේගය ඇති වීමට හේතු වන කරුණු ය.

සංවේග වස්තු අට නම් :- ජාතියය, ජරාවය, ව්‍යාධියය, මරණයය, අපායෝත්පත්තිය ය අතීත සංසාර දුඃඛයය, අනාගත සංසාර දුඃඛයය, ආහාර සෙවීමේ දුඃඛයය යන මේ අට ය.

සුදුසු කල්හි සිත ගැන මැදහත් වීම ය යනු යම් අවස්ථාවකදී සම්‍යක් ප්‍ර‍තිපත්තිය නිසා හැකිළීමක් හෝ වික්ෂේපයක් නැති ව, ආස්වාද සහිත ව සිත භාවනාවෙහි මැනවින් පවතී ද, ඒ අවස්ථාවෙහි සම සේ බර ඇද ගෙන ගමන් කරන අසුන් දෙදෙනා ගැන, උපේක්ෂක ව බලා සිටින රියදුරා මෙන් චිත්තවේගය අඩු වැඩි කිරීමට උත්සාහයක් නො කොට කෙරෙන සැටියට ම භාවනා කරගෙන යාම ය. හැකිළීමෙන් හා වික්ෂේපයෙන් තොර ව මනා කොට භාවනාවෙහි පවත්නා සිත වඩාත් උත්සාහවත් කරවන්නට ගිය හොත් එයින් සමාධියට බාධා පැමිණේ. මැදහත් වීමට සුදුසු අවස්ථාවෙහි මැදහත් වීම සමාධි සම්බොජ්ඣංගයට කරුණක් වන්නේ එහෙයිනි.

“අසමාහිත පුද්ගලයන් ගෙන් වෙන්ව වාසය කරන බවය” යන මෙහි අසමාහිත පුද්ගලයෝ නම්, සමාධි වැඩීමක් නො කරන උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය නැති පුද්ගලයෝ ය. සමාහිත පුද්ගලයෝ නම් උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය ඇති පුද්ගලයෝ ය. නිතර ආශ්‍ර‍ය කරන පුද්ගලයන් ගේ සිත්වලට සමාන සිත් සමාන ගතිගුණ ආශ්‍ර‍ය කරන අනිකා ගේ සන්තානයෙහි ඇති වන බව පරීක්ෂාවෙන් ලෝකය දෙස බැලුව හොත් දැකිය හැකි ය. වික්ෂිප්ත සිත් ඇති සමාධි විරහිත පුද්ගලයන් අතර වාසය කරන තැනැත්තා ගේ සිත ද ආශ්‍ර‍ය කරන්නවුන් ගේ සිත්වල සැටියට හැඩ ගැසෙන බැවින් වික්ෂිප්ත පුද්ගලයන් මැද සිටගෙන සමාධිය ලැබීම දුෂ්කර ය. තරමක සමාධියක් ලබා සිටින තැනැත්තා ගේ සමාධිය ද වික්ෂිප්ත පුද්ගලයන් මැද විසීමෙන් දුබල වේ. සමාධි විරහිත පුද්ගලයන් ගෙන් වෙන්ව වාසය කරන බව සමාධි සම්බොජ්ඣංගයට හේතුවකැ යි කියන ලද්දේ එහෙයිනි.

සමාධිය ඇති පුද්ගලයන් සේවනය කරමින් ඔවුන් අතර වෙසෙමින් සමාධිය වඩන තැනැත්තා හට එය පහසුවෙන් ඇති වේ. සමාධිය ඇති පුද්ගලයන් අතර වාසය කරන කල්හි ඇති වූ සමාධිය ද නො නැසී පවතී. සමාධිය ඇතියවුන් සේවනය කිරීම සමාධියට හේතුවකැයි කියන ලද්දේ එහෙයිනි. ආශ්‍ර‍ය කිරීමට, භාවනාවෙහි යෙදෙන, සමාධිය ලබා සිටින, පුද්ගලයන් නො ලබන කල්හි යෝගාවචරයන්ට හුදකලාව විසීම මැනවි. සමාධිය වඩන්නා වූ හෝ ලබා සිටින්නා වූ හෝ සත්පුරුෂයන් ආශ්‍ර‍ය කිරීමට ලැබිය හැකි නම්, ඒ සත්පුරුෂයන් හා එක් ව විසීම තනි ව විසීමට වඩා යහපති. තනි ව වාසය කිරීම ම උසස් ය යි නො සිතිය යුතු ය.

උපෙක්ඛා සම්බොජ්ඣංගය ඇතිවීමේ හේතු

“අත්ථි භික්ඛවෙ, උපෙක්ඛා සම්බොජ්ඣංගට්ඨානියා ධම්මා, තත්ථ යොනිසොමනිසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣංගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරියා.”

“මහණෙනි, උපේක්ඛා සම්බොජ්ඣංගයට හේතු ධර්ම ඇත්තේ ය. ඒ ධර්මයන් කෙරෙහි යෝනිසෝමනස්කාරය බහුල කොට පැවැත්වීම නූපන් උපේක්ඛා සම්බොජ්ඣංගයේ ඉපදීමට ද උපන් උපේක්ඛා සම්බොජ්ඣංගයේ වැඩීමට හා සම්පූර්ණ වීමට ද ආහාරය වන්නේ ය” යනු එහි අදහසයි.

මෙහි උපේක්ඛාසම්බොජ්ඣංගයට හේතු ධර්මය යි දැක්වෙන්නේ උපෙක්ඛාව ම ය. උපේක්ඛාසම්බොජ්ඣංගය හා එහි ප්‍රයෝජනයත් නුවණින් මෙනෙහි කිරීම් බහුල බව උපෙක්ඛා සම්බොජ්ඣංගයට හේතු වේ. අටුවාවෙහි දැක්වෙන උපෙක්ඛා සම්බොජ්ඣංග හේතු පසක් ද ඇත්තේ ය. ඒ මෙසේ ය :-

“පඤ්චධම්මා උපෙක්ඛාසම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති. සත්තමජ්ඣත්තතා. සංඛාරම්ජ්ඣත්තනා, සත්ත සංඛාරකෙළායනපුද්ගල පරිවජ්ජනතා, සත්තසංඛාරමජ්ඣත්ත-පුග්ගලසෙවනතා, තදධිමුත්තතාති.”

“ධර්මයෝ පස් දෙනෙක් උපේක්ඛා සම්බොජ්ඣංගයා ගේ උත්පාදය පිණිස පවතිත්. ඔවුහු නම් සත්ත්වයන් කෙරෙහි මැදහත් බව ය, සංස්කාරයන් කෙරෙහි මැදහත් බවය, සත්ත්ව සංස්කාරයන් සුරතල් කරන අතිලෝභීන්ගෙන් වෙන්වීමය, සත්ත්ව සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථ පුද්ගලයන් සේවනය කිරීම ය, උපේක්ෂා සම්බෝධ්‍යංගය ඉපදවීමෙහි නැමුණු සිත් ඇති බව ය” යන මොහුය.

සත්ත්වයෝ නම් මනුෂ්‍යාදීහු ය. සංස්කාරයෝ නම් වස්ත්‍රාභරණාදි වස්තූහු ය. සත්ත්ව සංස්කාරයන්ට ඇලුම් කිරීමය, විරුද්ධ වීමය යන දෙක දුරු කිරීම වූ මධ්‍යස්ථ භාවය උපේක්ෂා සම්බෝධ්‍යංගයට හේතු වේ. එබැවින් සත්ත්වයන් කෙරෙහි මැදහත් බව හා සංස්කාරයන් කෙරෙහි මැදහත් බව උපෙක්ඛා සම්බොජ්ඣංග හේතු වශයෙන් දක්වන ලදි.

ඇතැමෙක් සත්ත්ව සංස්කාරයන් කෙරෙහි අධික ඇලුම් ඇත්තෝ ය. ඇතැම් පැවිද්දෝ තමන් ගේ ගෝල බාලයන් නිතර ම ළඟ සිටුවා ගෙන ඔවුන් හා කථා කරමින් ද, ඔවුන් ගේ වැඩ බල බලා සතුටු වීමෙන් ද කල් යවති. ගෝලයන් තමන්ට පෙනෙන හරියේ නො සිටිය හොත් අසවලා කොහිද කොයි ගියේ දැ යි සොයන්නට පටන් ගනිති. අනිකකු ඒ ගෝලබාලයන් ගෙන් වැඩක් ගන්නවාට තබා ඔවුන් හා කථා කරනවාට ද කැමති නැත. “සත්ත කෙළායන” යනුවෙන් දැක්වෙන්නේ ඔවුන්ගේ ඒ සත්ත්වයන් සුරතල් කරන බව ය.

ඇතැම්හු හොඳ භාණ්ඩයක් ලත් කල්හි එයින් තමන් ද ප්‍රයෝජනයක් නො ගෙන අනුන්ට ප්‍රයෝජනයක් ගන්නට ද නො දෙමින් නිකම් භාණ්ඩය අත පත ගාමින් බලමින් තබා ගෙන සිටිති. සංස්කාර කෙළායනය යි දැක්වෙන්නේ එය ය. එය වස්තු සුරතල් කිරීම ය. සත්ත්ව සංස්කාරයන් සුරතල් කරන නො හොත් සත්ත්ව සංස්කාරයන් හා සෙල්ලම් කරන ඒ අතිලෝභීන් සේවනය කිරීම ද උපෙක්ඛාසම්බොජ්ඣංගයට බාධකයෙකි. සත්ත්ව සංස්කාරයන්ට තදින් ඇලුම් කරන ස්වභාවය නැති, එසේ ම සත්ත්ව සංස්කාරයන් හා විරුද්ධ වන ස්වභාවය නැති, සියල්ල ගැන මැදහත් පුඟුලන් සේවනය කිරීම උපෙක්ඛාසම්බොජ්ඣංගයට කරුණෙකි. ඒ ඒ බෝධ්‍යංග ධර්ම ඇති කර ගැනීම ගැන නැමුණු සිත් ඇති බව සකල බෝධ්‍යංගයන්ගේ ම ඇති වීමට හා වැඩීමට කරුණු වේ.

බෝධ්‍යංග වැඩීමේ කාලය හා අකාලය

සියලු ම යෝගාවචරයන් විසින් බෝධ්‍යංග වැඩිය යුතු වුව ද සෑම බෝධ්‍යංගයක් ම සැම අවස්ථාවේදී ම වැඩිය යුතු නො වේ. ඒ ඒ බෝධ්‍යංගය නො වැඩිය යුතු වැඩිය යුතු කාලයන් දැන ගෙන කාලයට සුදුසු පරිදි බෝධ්‍යංග වැඩීම කළ යුතු ය.

“යස්මිං භික්ඛවෙ සමයෙ ලීනං හොති චිත්තං, අකාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣංගස්ස භාවනාය, අකාලො සමාධි-සම්බොජ්ඣංගස්ස භාවනාය, අකාලො උපෙක්ඛා-සම්බොජ්ඣංගස්ස භාවනාය”

යනුවෙන් යම් සමයෙක් හි සිත හැකිළී පවත්නේ නම් (අලස වී තිබෙන්නේ නම්) එය පස්සද්ධිසම්බොජ්ඣංගය වැඩීමට ද, සමාධිසම්බොජ්ඣංගය වැඩීමට ද උපෙක්ඛාසම්බොජ්ඣංගය වැඩීමට ද නුසුදුසු කාලය බව වදාරා තිබේ. සිත අලස වී තිබෙන අවස්ථාවෙහි ඒවා නො වැඩිය යුත්තේ ඒ බෝධ්‍යංගයන්ට අලස වූ චිත්තය නඟා සිටුවන්නට නුපුළුවන් බැවින් ඒ බෝධ්‍යංගයන් වැඩීමේ දී අලස වූ චිත්තය සමහර විට වඩාත් අලස බවට පැමිණිය හැකි බැවිනි.

“යස්මිං ච භික්ඛවෙ, සමයෙ ලීනං හොති චිත්තං, කාලෙ තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣංගස්ය භාවනාය, කාලො විරියසම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො පීතිසම්බොජ්ඣංගස්ස භාවනාය.”

යනුවෙන් යම් සමයක සිත හැකිළී පවත්නේ නම් එය ධම්මවිචයසම්බොජ්ඣංගය වැඩීමට ද විරියසම්බොජ්ඣංගය වැඩීමට ද, පීතිසම්බොජ්ඣංගය වැඩීමට ද සුදුසු කාලය, සුදුසු අවස්ථාව බව වදාරා තිබේ. සිත අලස බවට පැමිණ තිබෙන අවස්ථාව ධම්මවිචයාදි බොජ්ඣංග තුන වැඩීමට සුදුසු අවස්ථාව වන්නේ, ඒවා වැඩීමෙන් අලස ගතිය දුරු වී සිත වේගවත් වන බැවිනි. ධම්මවිචයාදි බොජ්ඣංගයෝ දුබල වූ සිත නඟා සිට වන බොජ්ඣංගයෝ ය.

“යස්මිං භික්ඛවෙ, සමයෙ උඬතං චිත්තං හොති අකාලො තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣංගස්ස භාවනාය, අකාලො විරියසම්බොජ්ඣංගස්ස භාවනාය අකාලො පීතිසම්බොජ්ඣංගස්ස භාවනාය.”

යනුවෙන් යම් කලෙක සිත නො සන්සුන්බවේ ද ඒ අවස්ථාව ධම්මවිචයසම්බොජ්ඣංගය වැඩීමට ද, විරියසම්බොජ්ඣංගය වැඩීමට ද, පීතිසම්බොජ්ඣංගය වැඩීමට ද නුසුදුසු අවස්ථාව බව වදාරා තිබේ. නො සන්සුන් සිත සන්සිඳවීමට ඒ බෝධ්‍යංගයෝ සමර්ථ නො වෙති. සිත නො සන්සුන් අවස්ථාවෙහි ධම්මවිචයසම්බොජ්ඣංගාදි තුන වැඩීම මහ ගිනිකඳකට තවත් දර දමා පවන් සැලීම වැනි ය. එයින් සිත වඩාත් නො සන්සුන් බවට පැමිණෙන්නේ ය.

“යස්මිං භික්ඛවෙ, සමයෙ උද්ධතං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො සමාධි-සම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො උපෙක්ඛාසම්බොජ්ඣංගස්ස භාවනාය.”

යනුවෙන් යම් සමයෙක්හි සිත නො සන්සුන් වේ ද එය පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට ද සමාධිසම්බොජ්ඣංගය වැඩීමට ද, උපෙක්ඛාසම්බොජ්ඣංගය වැඩීමට ද කාලය ය යනු එහි තේරුමයි. පස්සද්ධි සම්බොජ්ඣංගාදි ඒ බොජ්ඣංග තුන සැලෙන්නා වූ නොසන්සුන් වූ සිත සන්සිඳවීමට සමර්ථ බෝධ්‍යංගයෝ ය. වතුර ඉසින කල්හි ඇවිලෙන ගින්න නිවී යන්නාක් මෙන් ඒ බෝධ්‍යංග වැඩීමෙන් නො සන්සුන් සිත සන්සිදෙන්නේ ය.

“සති ඛ්වාහං භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමි” යි වදාළ හෙයින් සිත අලස ව පවත්නා වූ ද නො සන්සුන් ව පවත්නා වූ ද සැම කල්හි ම සිහිය වුවමනා ය. එබැවින් සතිසම්බොජ්ඣංගය සියලු කල්හි පැවැත්විය යුතු ය.

බෝධ්‍යංගයන්හි ඇති රෝග සුව කිරීමේ බලය

රාගාදි මානසික රෝග සුව කිරීමේ බලය පමණක් නොව කායික රෝග සුව කිරීමේ බලයක් ද බෝධ්‍යංගයන්හි ඇත්තේ ය. එක් කලෙක ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ රෝගාතුර වී පිප්ඵලී ගුහාවෙහි වැඩ සිටි සේක. තථාගතයන් වහන්සේ එක් සන්ධ්‍යා කාලයෙක එහි වැඩ වදාරා සුව දුක් විචාරා මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේට :-

“සත්ති මෙ කස්සප, බොජ්ඣංගා

මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා

අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති”

යනාදීන් බෝධ්‍යංග ධර්මය දේශනය කළ සේක. ඒ දේශනය ආදරයෙන් ගෞරවයෙන් අසා ගෙන සිටීමෙන් ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ නිරෝගී වූ සේක. ඒ දේශනය අසමින් සර්වඥශාසනයා ගේ නෛර්‍ය්‍යානිකත්වය සිතන්නා වූ තෙරුන් වහන්සේගේ සිත ප්‍ර‍සන්න විය. එයින් ලෙය ද ප්‍ර‍සන්න විය. හොඳ චිත්තජ රූප ඇති වීමෙන් සකල ශරීරය ම පිනා ගියේ ය. එයින් උන් වහන්සේ ගේ ශරීරයෙහි වූ රෝගය පියුම් පතෙහි දිය බින්දු මෙන් ශරීරයෙන් පහ ව ගියේ ය.

එක් කලෙක මුගලන් මහ තෙරුන් වහන්සේ රෝගාතුර වී ගිජුකුළුපව්වෙහි වැඩ විසූ සේක. තථාගතයන් වහන්සේ උන් වහන්සේ වෙත ද වැඩ වදාරා බෝධ්‍යංග ධර්ම දේශනය කළ සේක. එයින් උන්වහන්සේගේ රෝගය ද සුව විය.

බුදුරජාණන් වහන්සේ ද එක් අවස්ථාවක දී රෝගාතුර වී වේළුවනාරාමයෙහි වැඩ විසූ සේක. ආයුෂ්මත් චුන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ දක්නට එළඹ :

“සත්ති මෙ භන්තෙ, බොජ්ඣංගා

භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා

අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති

යනාදීන් තථාගතයන් වහන්සේට බෝධ්‍යංග ධර්ම දේශනය කළ සේක. එය අසා තථාගතයන් වහන්සේ ද නිරෝගී වූ සේක.

බෝධ්‍යංග ධර්මවල රෝග සුව කිරීමේ ශක්තියක් ඇති බැවින් අද දක්වා රෝග සුව කරවන පිරිත් වශයෙන් ඒ සූත්‍ර‍ ධර්ම භාවිත කරනු ලැබේ. බෝධ්‍යංග ධර්ම ගැන දැනීම ඇති ඒවා වඩන පින්වතුන්ට රෝගාතුර වූ අවස්ථාවල දී බෝධ්‍යංග ධර්ම ඇසීමෙන් බොහෝ ගුණ ලැබිය හැකි ය. සාමාන්‍යයෙන් ඒවා සැදැහැයෙන් ගෞරවයෙන් අසන සැම දෙනාට ම එයින් ගුණ ලැබිය හැකිය. යෝගාවචරයන් විසින් රෝගී වූ සබ්‍ර‍හ්මචාරීන්ට හා උපස්ථායකයන්ටත් රෝග සුව කිරීම සඳහා බොජ්ඣංග පිරිත කියන්නට පුරුදු කර ගැනීම හොඳ ය. යෝගාවචරයකු විසින් කියන පිරිතෙන් සාමාන්‍ය කෙනකු කියන පිරිතකට වඩා ගුණ ලැබෙන්නේ ය.

බොජ්ඣංග පිරිත කිය යුතු ආකාරය

මේ බොජ්ඣංග පිරිත්, පිරිත් පොතේ ඇත්තේ තථාගතයන් වහන්සේ විසින් කාශ්‍යප තෙරුන් වහන්සේ අමතා උන් වහන්සේට දේශනය කළ සැටියට හා මුගලන් තෙරුන් වහන්සේ අමතා දේශනය කළ සැටියටත්, චුන්ද තෙරුන් වහන්සේ විසින් බුදුන් වහන්සේ අමතා දේශනය කළ සැටියටත් ය. බොහෝ දෙනා රෝගීන්ට ඒ සූත්‍ර‍ ධර්ම පොතේ ඇති සැටියට ම දේශනය කරති. බොජ්ඣංග පිරිත් එසේ දේශනය කිරීම නිෂ්ඵල නො වෙතත් රෝගීන්ට දේශනය කළ යුතු වඩා හොඳ ක්‍ර‍මය එය නො වේ. වඩා හොඳ ක්‍ර‍මය නම් රෝගියා ගේ නම පිරිතට යොදා තමන් කරන දේශනයක් සැටියට පිරිත කීම ය. රෝගියා ගේ නම පිරිතට යොදා කීම අපහසු නම් ආවුසො, භන්තෙ, උපාසක, උපාසිකෙ යනාදි කා හටත් යෙදිය හැකි ආමන්ත්‍ර‍ණ වචන යොදා පිරිත කිය යුතු ය. රෝගියා ගේ නම, උපතිස්ස නම් පිරිත මෙසේ යොදා කිය යුතු ය.

“සත්ති මෙ උපතිස්ස බොජ්ඣංගා භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ සත්ත?

සතිසම්බොජ්ඣංගො ඛො උපතිස්ස, භගවතා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.

ධම්මවිචයසම්බොජ්ඣංගො ඛො උපතිස්ස, භගවතා සම්මාදක්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.

විරියසම්බොජ්ඣංගො ඛො උපතිස්ස, -පෙ-

පස්සද්ධිසම්බොජ්ඣංගො ඛො උපතිස්ස, -පෙ-

සමාධිසම්බොජ්ඣංගො ඛො උපතිස්ස, -පෙ-

උපෙක්ඛාසම්බොජ්ඣංගො ඛො උපතිස්ස, -පෙ-

ඉමෙ ඛො උපතිස්ස, සත්ත බොජ්ඣංගා භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති.

පැවිද්දකුට පිරිත කියන කල්හි නම යොදා කීම අපහසු නම්, රෝගියා තමාට වැඩිමහලු කෙනෙක් වේ නම් “සත්තිමෙ භන්තෙ බොජ්ඣංගා” යනාදීන් භන්තෙ යන වචනය යොදා පිරිත කිය යුතු ය. රෝගියා නවකයෙක් වේ නම් “සත්ති මෙ ආවුසෝ බොජ්ඣංගා” යනාදීන් ආවුසො යන ආලපන වචනය යොදා පිරිත කියනු. රෝගියා ගිහි පුරුෂයෙක් නම් “සත්ති මෙ උපාසක බොජ්ඣංගා” යනාදීන් ‘උපාසක’ යන සාධාරණ වචනය යොදා පරිත කියනු. ස්ත්‍රියක නම් “උපාසිකෙ” යන සාධාරණ වචනය යොදා පිරිත කියනු. රෝගියා ළදරුවෙක් නම් “සත්ති මෙ කුමාර බොජ්ඣංගා” යනාදි වශයෙන් ද ළදැරියක නම් “සත්ති මෙ කුමාරිකෙ බොජ්ඣංගා” යනාදි වශයෙන් ද පිරිත කිය යුතු ය.

ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය

“අරියං වො භික්ඛවෙ, අට්ඨංගිකං මග්ගං දෙසිස්සාමි, විභජිස්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමිති. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච. කතමො ච භික්ඛවෙ, අරියො අට්ඨංගිකො මග්ගො? සෙය්‍යථිදං.

සම්මාදිට්ඨි සම්මාසංකප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මආජීවො සම්මාවායාමො සම්මාසති සම්මා සමාධි.

මේ සංයුත්තනිකායේ මග්ගසංයුත්තයේ ප්‍ර‍ථම වර්ගයේ අටවැනි සූත්‍ර‍ය වූ මග්ගවිභංග සූත්‍රයේ කොටසෙකි. මෙහි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය මේ සූත්‍ර‍යට අනුව විස්තර කරනු ලැබේ. ඉහත දැක්වුණු සූත්‍ර‍ පාඨයේ තේරුම මෙසේ ය.

“මහණෙනි, තොපට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය දේශනය කරන්නෙමි. විභාග කරන්නෙමි. මනා කොට අසව්. මනා කොට මෙනෙහි කරව්. දේශනය කරන්නෙමි.” “එසේ ය, ස්වාමීනි” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය කවරේද? ඔවුහු කවරහු ද?

සම්මාදිට්ඨියය, සම්මාසංකප්පයය, සම්මාවාචාවය, සම්මාකම්මන්තයය, සම්මාආජීවයය, සම්මාවායාමයය, සම්මාසතියය, සම්මාසමාධියය යන මොහුය.”

සම්මාදිට්ඨි ආදි මේ ධර්ම අට නිවනට පැමිණීමේ නිවන් ලැබීමේ ප්‍ර‍තිපත්තිය ය. එබැවින් එයට “දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා” ය යි කියනු ලැබේ. ඒ ප්‍ර‍තිපත්තිය නිවන ලබා ගැනීමේ උපාය ය. ලෝකයෙහි මිනිසුන් ගමන් කරන්නා වූ මාර්ග ඒ ඒ තැනට පැමිණීමට උපකාර වන්නාක් මෙන් මේ ප්‍ර‍තිපත්තිය නිවන් ලැබීමට නිවනට පැමිණීමට උපකාර වන බැවින් එයට (මග්ග) මාර්ගය යි කියනු ලැබේ. මෙහි මග්ග යන්නෙහි තේරුම ප්‍ර‍තිපදාවය - උපායය යනු යි. ඒ ප්‍ර‍තිපදාවෙහි ධර්ම අටක් හෙවත් අංග අටක් ඇති බැවින් එයට (අට්ඨංගික මග්ග) අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ. අංග අටක් ඇත්තා වූ ඒ මාර්ගයෙන් කෙලෙස් දුරු කරනු ලැබේ. පුද්ගලයා ආර්‍ය්‍ය භාවයට පමුණුවනු ලැබේ. පුද්ගලයාට ආර්‍ය්‍ය ඵලය ලබා දෙනු ලැබේ. එ බැවින් ඒ මාර්ගයට (අරිය අට්ඨංගික මග්ග) ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ.

ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යන මෙයට තේරුම් තුනක් කිය හැකි ය. “කෙලෙසුන් කෙරෙන් දුරු වූ අංග අටක් ඇත්තා වූ ප්‍ර‍තිපත්තියය” යනු එයින් පළමු වැන්න ය. “ඒ ප්‍ර‍තිපත්තිය පුරන පුද්ගලයා ආර්‍ය්‍යභාවයට පමුණුවන අංග අටක් ඇත්තා වූ ප්‍ර‍තිපත්තිය” යනු දෙවැන්න ය. “පිළිපදින්නා වූ පුද්ගලයාට, ආර්‍ය්‍යඵලයක් ලබා දෙන අංග අටක් ඇත්තා වූ ප්‍ර‍තිපත්තිය” යනු තුන්වැන්න ය.

කතමො ච පුග්ගලො අරියො? අට්ඨාරිය පුග්ගලා අරියා, අවසෙසා පුග්ගලා අනියා” යි පුද්ගලපඤ්ඤත්ති පකරණයෙහි දැක්වුණු පරිදි සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ග සතර ඵලයන්හි පිහිටි පුද්ගලයෝ ආර්‍ය්‍යයෝ ය. සෙස්සෝ අනාර්‍ය්‍යයෝ ය. අනාර්‍ය්‍යයෝ පෘථග්ජනයෝ ය. මේ මාර්ගයෙන් අනාර්‍ය්‍යයෝ ආර්‍ය්‍ය භාවයට පැමිණෙති.

මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය බෝධිපාක්ෂික ධර්ම පන්තියෙන් ප්‍ර‍ධාන ධර්ම අට ය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන කල්හි එයට අනුව සතිපට්ඨානාදි බෝධිපාක්ෂික ධර්මයෝ ද වැඩෙති. එ හෙයින් :-

“සෙය්‍යථාපි භික්ඛවෙ, ආකාසෙ විවිධා වාතා වායන්ති, පුරත්ථිමා’ පි වාතා වායන්ති, පච්ඡිමා’ පි වාතා වායන්ති, උත්තරා’පි වාතා වායන්ති, දක්ඛිණා’පි වාතා වායන්ති, සරජා’පි වාතා වායන්ති, අරජා’ පි වාතා වායන්ති, සීතා’ පා වාතා වායන්ති, උණ්හා’ පි වාතා වායන්ති, පරිත්තා’ පි වාතා වායන්ති, අධිමත්තා‘පි වාතා වායන්ති, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියං අට්ඨංගිකං මග්ගං භාවයතො අරියං අට්ඨංගිකං මග්ගං බහුලීකරොතො චත්තාරො’ පි සතිපට්ඨානා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, චත්තාරො’පි සම්මප්පධානා භාවනා පරිපූරිං ගච්ඡන්ති, චත්තාරො’ පි ඉද්ධිපාදා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, පඤ්ච’ පි ඉන්ද්‍රියානි භාවනා පාරිපූරිං ගච්ඡන්ති. පඤ්ච’පි බලානි භාවනා පාරිපූරිං ගච්ඡන්ති, සත්ත’පි බොජ්ඣංගා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.” යනු වදාළ සේක.

(මග්ග සංයුත්ත)

සම්මා දිට්ඨි

“කතමො ච භික්ඛවෙ, සම්මාදිට්ඨි? යං ඛො භික්ඛවෙ, දුක්ඛෙ ඤාණං, දුක්ඛමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය ඤාණං අයං වුච්චති භික්ඛවෙ, සම්මාදිට්ඨි.” (මග්ගවිභංග සුත්ත)

මෙතැන් පටන් මාර්ගාංග අට වෙන වෙන ම විස්තර කරනු ලැබේ.

තේරුම :-

“මහණෙනි, සම්මාදිට්ඨිය කවරේද? මහණෙනි, යම් දුක ගැන දැනීමක් වේ ද? දුක ඇති වීමේ හේතුව ගැන දැනීමක් වේ ද, දුක්ඛනිරෝධය (නිවන) ගැන දැනීමක් වේ ද, නිවනට පැමිණෙන මඟ ගැන දැනීමක් වේ ද, මහණෙනි, මෙය සම්මා දිට්ඨිය යි කියනු ලැබේ.”

දිට්ඨි යනු දැකීම ය - දැනීමය යන අර්ථ දෙන වචනයෙකි. හරි දැනීමය, වැරදි දැනීම ය යි දැනීම දෙයාකාර වේ. සම්මා යනු නිවරදය යන අර්ථය දෙන වචනයෙකි. සම්මා - දිට්ඨි යන දෙපදය එක් කොට ගත් කල්හි නිවැරදි දැකීමය හෙවත් නිවැරදි දැනීම ය යන අර්ථය කියැ වේ. සම්මාදිට්ඨි යනු නිවැරදි දැනුම ය. නිවැරදි දැනීම් ද බොහෝ ය, මේ බුදු සස්නෙහි කම්මස්සකතා සම්මාදිට්ඨිය ය, චතුස්සච්ච සම්මාදිට්ඨියය යි සම්මාදිට්ඨි දෙකක් උගන්වා තිබේ. මේ දෙකින් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මාදිට්ඨි යනුවෙන් ගනු ලබන්නේ චතුස්සච්ච සම්මාදිට්ඨිය ය.

මග්ගවිභංග සූත්‍රයෙහි දුක්ඛෙ ඤාණං යනාදීන් සම්මා දිට්ඨිය විස්තර කර ඇත්තේ එහෙයිනි. කම්මස්සකතා සම්මා දිට්ඨිය යනු කර්ම - කර්මඵල දන්නා නුවණ ය. එය ලෝකයේ කවදත් ඇති සම්මාදිට්ඨිය ය. චතුසච්චසම්මාදිට්ඨිය බුදුසස්නෙහි ම ඇතියකි. චතුසච්චසම්මාදිට්ඨිය ඇතියහුට කම්මස්සකතා සම්මාදිට්ඨිය ද ඇත්තේ ය. චතුස්සත්‍යය දත් තැනැත්තාට කර්‍ම - කර්ම ඵලය ද දැනෙන බැවින් චතුස්සත්‍යය සම්මා දිට්ඨිය තුළ කම්මස්සකතා සම්මාදිට්ඨිය ද ඇත. ඒ උසස් සම්මාදිට්ඨිය ඇති කර ගැනීමට කම්මස්සකතා සම්මාදිට්ඨිය උපකාර වේ. එ බැවින් එය පළමු කොට ඇති කර ගත යුතු ය. එහි පිහිටා චතුස්සත්‍ය සම්මාදිට්ඨිය ඇති කර ගැනීමට උත්සාහ කළ යුතු ය.

චතුස්සත්‍ය සම්‍යග්දෘෂ්ටිය විස්තර කිරීමේ දී චතුරාර්‍ය්‍ය සත්‍යය විස්තර කළ යුතු ය. අප විසින් සම්පාදිත චතුරාර්‍ය්‍ය සත්‍යය නමැති පොතෙහි එය විස්තර කර ඇති බැවින් මෙහි එය විස්තර නොකරනු ලැබේ.

මාර්ගාංගයෝ ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වෙති. මග්ගවිභංග සූත්‍රයෙහි එය දක්වා ඇත්තේ ලෞකික ලෝකෝත්තර විභාගයක් නැති ව මිශ්‍ර‍ක වශයෙනි. මාර්ග ධර්ම ලෝකෝත්තරත්වයට පැමිණ උපදින්නේ සියල්ල එකට බැඳී එකවර ය. ලෞකික සිත්වල මාර්ගාංග අට ම එක වර නො ලැබේ. සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවායාම, සම්මා සති, සම්මාසමාධි යන මාර්ගාංග පස ලෞකික සිත්වල එකවර ලැබේ. සමහර සිතක සම්මාසංකප්පය ද නැති ව එකවර සතරක් පමණක් ලැබේ. ශීලවිසුද්ධි සම්පාදනයේ දී ඉහත කී මාර්ගාංග පසට සම්මාවාචාදි තුනෙන් එක එක එකතු වීමෙන් එකවර මාර්ගාංග සය බැගින් ද ලැබේ. සමහර ලෝකෝත්තර සිත්වල ද සම්මාසංකප්පය හැර මාර්ගාංග සතක් පමණක් ලැබේ. ලෞකික අවස්ථාවෙහි ඒ ඒ මාර්ගාංග වඩන්නා වූ සිත්වල ප්‍ර‍ධාන ව ලැබෙන්නේ එක් එක් මාර්ගය බැගිනි.

චතුරාර්‍ය්‍ය සත්‍යය දැනීම වූ සම්‍යග්දෘෂ්ටිය ද ලෞකික අවස්ථාවේ දී එකවර ආර්‍ය්‍යසත්‍ය සතර ම දැකීම් වශයෙන් නූපදී. එබැවින් ලෞකික අවස්ථාවෙහි දුඃඛාර්‍ය්‍ය සත්‍යය දක්නා සම්‍යග්දෘෂ්ටිය අනෙකකි. සමුදයාර්‍ය්‍ය සත්‍යය දක්නා සම්‍යග් දෘෂ්ටිය අනෙකකි. නිරෝධාර්‍ය්‍ය සත්‍යය දක්නා සම්‍යග්දෘෂ්ටිය අනෙකකි. මාර්ගාර්‍ය්‍යසත්‍යය දක්නා සම්‍යග්දෘෂ්ටිය අනෙකකි.

සම්‍යග්දෘෂ්ටි සංඛ්‍යාත ප්‍ර‍ථම මාර්ගාංගය උපදවා ගැනීමට උත්සාහ කරන යෝගාවචරයා හට දුඃඛසත්‍යය උගෙනීමේ දී ද, එය භාවනා කිරීම් වශයෙන් නැවත නැවත සිතීමේදී ද, තමා දත් දුඃඛසත්‍යය අන්‍යයන්ට කියා දීමේදී ද දුක්ඛෙ ඤාණං යනුවෙන් දැක්වෙන ප්‍ර‍ථම සම්‍යග්දෘෂ්ටිය උපදී.

සමුදය සත්‍යය උගන්නා වූ ද, එය ගැන සිතන්නා වූ ද, එය අනුන්ට කියා දෙන්නා වූ ද, අවස්ථාවන්හි දුක්ඛසමුදයෙ ඤාණං යනුවෙන් දැක්වෙන ද්විතීය සම්‍යග්දෘෂ්ටිය උපදී.

නිරෝධ සත්‍යය උගන්නා වූ ද, සිතන්නා වූ ද, පරහට කියා දෙන්නා වූ ද, අවස්ථාවන්හි දුක්ඛනිරොධෙ ඤාණං යනුවෙන් දැක්වෙන තෘතීය සම්‍යග්දෘෂ්ටිය උපදී.

මාර්ගසත්‍යය උගන්නා වූ ද, සිතන්නා වූ ද, එය පරහට කියා දෙන්නා වූ ද, අවස්ථාවන්හි දුක්ඛනිරොධෙ ගාමිනියා පටිපදාය ඤාණං යනුවෙන් දැක්වෙන චතුර්ථ සම්‍යග්දෘෂ්ටිය උපදී.

මෙසේ ලෞකික අවස්ථාවෙහි වෙන් වෙන් වශයෙන් ඇති වන්නා වූ සම්‍යග්දෘෂ්ටිය ඒ ඒ සත්‍යය විෂයෙහි වෙන් වෙන් වශයෙන් ක්‍ර‍මයෙන් වැඩී ලෝකෝත්තර මාර්ගචිත්තය උපදනා අවස්ථාවෙහි ඉතිරි මාර්ගාංගයන් හා එක්ව එකවර චතුරාර්‍ය්‍ය සත්‍යයන් ප්‍ර‍තිවේධ කිරීම් වශයෙන් ලෝකෝත්තර භාවයෙන් උපදී. ධර්ම වශයෙන් කියත හොත් සම්‍යග්දෘෂ්ටිය යනු ඉහත වීමංසිද්ධිපාද, පඤ්ඤින්ද්‍රිය, පඤ්ඤාබල, ධම්මවිචයසම්බොජ්ඣංගය යන නම්වලින් කියැවුණු ප්‍ර‍ඥා චෛතසිකය ය.

සම්මාසංකප්ප

කතමො ච භික්ඛවෙ, සම්මාසංකප්පො? යො ඛො භික්ඛවෙ, නෙක්ඛම්මසංකප්පො, අව්‍යාපාදසංකප්පො, අවිහිංසා සංකප්පො අයං වුච්චති භික්ඛවෙ, සම්මාසංකප්පො.

තේරුම :-

“මහණෙනි, සම්මාසංකප්පය කවරේද? මහණෙනි, යම් නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පයක් වේ ද, අව්‍යාපාද සංකල්පයක් වේ ද, අවිහිංසා සංකල්පයක් වේ ද, මහණෙනි මෙය සම්මාසංකප්පය යි කියනු ලැබේ.”

සංකප්ප යනු කල්පනාවට නමෙකි. ලෝකයෙහි සත්ත්වයන් අතර අනේකප්‍ර‍කාර කල්පනා ඇත්තේ ය. ඒ කල්පනාවන් අතුරෙන් නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පයය, අවිහිංසා සංකල්පයය යන මේ කල්පනා තුන මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි දැක්වෙන සම්මාසංකල්පය ය. ඒ සංකප්ප තුනට නෛෂ්ක්‍ර‍ම්‍යවිතර්ක, අව්‍යාපාදවිතර්ක, අවිහිංසාවිතර්ක යන මේ ද ව්‍යවහාර වේ.

මේ සත්ත්වයෝ වර්තමාන භවයෙහි හා අතීත භවයන්හි කරන ලද සතර අපායට වැටීමට හේතු වන බොහෝ පව් ඇතිව අනාගතයේ ද එබඳු පව් කම් ඉමක් කොනක් නැති ව කරන ස්වභාවය ඇති ව, නැවත නැවත අපායට පැමිණෙන ස්වභාවය ඇති ව, නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණාදි දුක්වලට හසු වන ස්වභාවය ඇති ව, තෘෂ්ණා බන්ධනයෙන් සසර බැඳී සිටිති. තමා සිටින්නා වූ තත්ත්වයේ භයානකකම දැකිය හැකි නුවණ ලැබූ පුද්ගලයෝ ලැව්ගින්නකට මැදි වී සිටින්නකු එයින් මිදීමට ද, සිර ගෙයකට හසු වී සිටින්නකු එයින් මිදීමට ද, සතුරු සෙනඟක් විසින් වට කරනු ලැබ සිටින්නකු එයින් මිදීමට ද, කෙමනකට - දැලකට හසුවී සිටින මසකු එයින් මිදීමට ද, කූඩුවකට හසු වී සිටින කුරුල්ලකු එයින් මිදීමට ද, සිතන්නාක් මෙන් උපන් නූපන් පාපයන් ගෙන් මිදීමට ද, තෘෂ්ණා බන්ධනයෙන් මිදීමට ද කල්පනා කරන්නාහ.

නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය :- යනු නුවණ ලැබූ සත්පුරුෂයන් විසින් ඒ තෘෂ්ණා බන්ධනයෙන් මිදීම සඳහා කරන කල්පනා වෝ ය. දන්දීම් ආදි වශයෙන් වස්තුව අත් හැරීම පිළිබඳ වූ ද, පුත්‍රාදීන් අත්හැරීම පිළිබඳ වූ ද, පැවිදි වීම පිළිබඳ වූ ද, ආරණ්‍යාදි විවේක ස්ථානයක් සේවනය කිරීම පිළිබඳ වූ ද, ශමථ විදර්ශනාවන්හි යෙදීම පිළිබඳ වූ ද කල්පනාවෝ නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පයෝ ය.

ධනධාන්‍යාදි වස්තූන් ලැබීම පිළිබඳ වූ ද අඹුදරුවන් පිළිබඳ වූ ද ආහාර පාන වස්ත්‍ර‍ යාන වාහනාදිය පිළිබඳ වූ ද, නෘත්‍ය ගීතාදිය පිළිබඳ වූ ද, මතු දෙව් මිනිස් සැපත් ලැබීම පිළිබඳ වූ ද, කල්පනාවට කාම විතර්කය යි කියනු ලැබේ. කාමවිතර්කය සසර දික් කරන්නකි. නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය මේ කාමවිතර්කය නසන කාම විතර්කය දුරු කරන කාමවිතර්කයට ප්‍ර‍තිපක්ෂ වූ ධර්මයෙකි.

අව්‍යාපාද සංකල්පයය :- යනු අන්‍ය සත්ත්වයන් අන්‍ය පුද්ගලයන් සුවපත් කිරීම පිළිබඳ වූ මෛත්‍රී සහගත කල්පනාව ය. අන්‍ය සත්ත්වයන් - පුද්ගලයන් විනාශ කර දැමීම පිළිබඳ වූ ද්වේෂ සහගත කල්පනාව ව්‍යාපාද විතර්ක නම් වේ. අව්‍යාපාද සංකල්පය, ව්‍යාපාද විතර්කය නසන - දුරු කරන ව්‍යාපාද විතර්කයට ප්‍ර‍තිපක්ෂ ධර්මයෙකි.

අවිහිංසා සංකල්පය :- යනු අන්‍යයන් දුකින් මිදවීම පිළිබඳ වූ කරුණා සහගත කල්පනාව ය. අන්‍යයන්ට දුක් දීම පිළිබඳ කල්පනාව විහිංසා විතර්ක නමි. අවිහිංසා සංකල්පය, විහිංසා විතර්කය දුරු කරන නසන විහිංසා විතර්කයට ප්‍ර‍තිපක්ෂ ධර්මයෙකි.

ධර්ම වශයෙන් කියතහොත් නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පාදි වශයෙන් ත්‍රිවිධ වූ මේ සම්‍යක් සංකල්පය දෙපනස් චෛතසිකයන්ගෙන් එකක් වූ විතර්ක චෛතසිකය ය. ශමථ විදර්ශනා වශයෙන් ඇත්තා වූ භාවනා සියල්ල ම සාමාන්‍යයෙන් කාම විතර්කාදි විතර්ක තුනට විරුද්ධ ය. සම්‍යක්සංකල්ප මාර්ගාංගය වැඩීම සඳහා කළ යුතු දෙය භාවනාවෙහි යෙදීම ය. භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාගේ භාවනා චිත්ත සම්ප්‍ර‍යුක්ත වූ විතර්කය, කාමවිතර්කය දුරු කිරීම් වශයෙන් නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය ද වේ. ව්‍යාපාද විතර්කය දුරු කිරීම් වශයෙන් අව්‍යාපාද සංකල්පය ද වේ. විහිංසා විතර්කය දුරු කිරීම් වශයෙන් අවිහිංසා සංකල්පය ද වේ. තදංග වශයෙන් කාමවිතර්කාදීන් ගේ හේතු දුරු කිරීම් වශයෙන් ඒ ඒ විතර්කයන් දුරු කරන්නා වූ, භාවනා චිත්තසම්ප්‍ර‍යුක්ත විතර්ක සංඛ්‍යාත සම්‍යක් සංකල්ප මාර්ගාංගය, භාවනාරම්මණයෙහි ක්‍ර‍මයෙන් වැඩී, ලෝකෝත්තර චිත්තය උපදනා අවස්ථාවෙහි කාමවිතර්කාදීන්ට හේතු වූ ක්ලේශයන් දුරු කිරීම් වශයෙන් කාමවිතර්කාදි විතර්ක තුන දුරු කරමින් ඉතිරි මාර්ගාංගයන් හා එක් ව ලෝකෝත්තරත්වයෙන් උපදනේ ය.

ලෝකයෙහි බහුල වශයෙන් ඇත්තේ කාමවිතර්ක බහුල පුද්ගලයෝ ය. ව්‍යාපාද විතර්ක විහිංසාවිතර්ක බහුල පුද්ගලයෝ මඳ වශයෙන් ඇතහ. පන්සල් සෑදීම් ගෝල බාලයන් සාදා ගැනීම් දායකයන් පහදවා ගැනීම් ආදිය ගැන පැවිද්දන්ට ඇති වන කල්පනා ද බොහෝ සෙයින් කාමවිතර්කයෝ ම ය. ගිහියන්ට නිතර කාම විතර්ක ඇති වීම ගැන කියනුම කිම? පැවිද්දන්ට ඇති වන පන්සල් සෑදීම් ආදිය පිළිබඳ කල්පනා සමහර විට නෛෂ්ක්‍ර‍ම්‍ය අව්‍යාපාද අවිහිංසා විතර්ක ද විය හැකි ය. ගිහියනට අඹු දරුවන් පෝෂණය කිරීමාදිය සම්බන්ධයෙන් ඇති වන කල්පනා සැම කල්හි ම කාම විතර්කයෝ ම ය.

කාම විතර්ක බහුල තැනැත්තා විසින් එය දුරු කිරීමටත් නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය දියුණු කර ගැනීමටත්, විශේෂයෙන් අශුභ භාවනාව කළ යුතු ය. කාම විතර්කයෙහි ආදීනවයන් මෙනෙහි කිරීම ද හොඳ ය. ව්‍යාපාද විතර්කයන් බහුල තැනැත්තාට එය නැති කර ගැනීමටත්, අව්‍යාපාද විතර්කය දියුණු කර ගැනීමටත්, විශේෂයෙන් මෛත්‍රී භාවනාව කිරීමත්, ව්‍යාපාදයේ දෝෂයන් මෙනෙහි කිරීමත් හොඳය, විහිංසා විතර්කය බහුල තැනැත්තා හට එය නැති කර ගැනීමට හා අවිහිංසා සංකල්පය දියුණු කර ගැනීමටත් විශේෂයෙන් කරුණා භාවනාව කිරීමත්, අනුනට දුක් දීමේ ආදීනවය මෙනෙහි කිරීමත් හොඳ ය. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යන මේ තුනට මිථ්‍යා විතර්කයයි ද මිථ්‍යා සංකල්පය යි ද කියනු ලැබේ. ඒවා පාප විතර්කයෝ ය.

සම්මා වාචා

“කතමා ච භික්ඛවෙ, සම්මා වාචා? යා ඛො භික්ඛවෙ මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී අයං වුච්චති භික්ඛවෙ, සම්මාවාචා

(මග්ග විභංග සුත්ත)

තේරුම :-

“මහණෙනි, සම්මාවාචාව කවරේද? මහණෙනි, යම් බොරු කීමෙන් වැළකීමක් වේ ද, කේලම් කීමෙන් වැළකීමක් වේ ද, ඵරුෂ වචනයෙන් වැළකීමක් වේ ද, සම්ඵප්‍ර‍ලාපයෙන් වැළකීමක් වේද, මහණෙනි, මෙය සම්මාවාචාය’ යි කියනු ලැබේ.” මෙයින් දැක්වෙන්නේ මෘෂාවාදාදි වාග්දුෂ්චරිත සතරින් වළක්නා ස්වභාවය සම්‍යග්වාචා මාර්ගාංගය බව ය. සම්‍යග්වාචා මාර්ගාංගය ධර්ම වශයෙන් එකක් වතුදු මෘෂාවාදාදි වළක්නා දුශ්චරිතයන් ගේ වශයෙන් මුසාවාදා විරතිය, පිසුණාවාචා විරතිය, ඵරුසාවාචා විරතිය, සම්ඵප්පලාපා විරතිය, යි විරති සතරක් වේ.

ලෞකික අවස්ථාවෙහි යෝගාවචරයා මෘෂාවාදයෙන් එක් සිතකින් වළකී. පිසුණාවාචයෙන් අන් සිතකින් වළකී. ඵරුෂා වාචයෙන් අන් සිතකින් වළකී. සම්ඵප්‍ර‍ලාපයෙන් අන් සිතකින් වළකී. එ බැවින් එක ම සම්‍යග්වාචා මාර්ගාංගය පූර්වභාගයේ දී වෙන් වෙන් වූ ධර්ම සතරක් වශයෙන් ඇති වේ. ලෝකෝත්තර මාර්ගචිත්තය උපදනා කල්හි එය ඉතිරි මාර්ගාංගයන් හා එක්ව දුශ්චරිත සතර ම එකවර ප්‍ර‍හාණය කිරීම් වශයෙන් එක් මාර්ගාංගයක් වශයෙන් ලෝකෝත්තරත්වයෙන් පහළ වේ. (මෘෂාවාදාදීන් ගේ විස්තර බෞද්ධයාගේ අත්පොතෙන් දත හැකි ය.)

සම්මා කම්මන්ත

“කතමො ච භික්ඛවෙ, සම්මාකම්මන්තො? යා ඛො භික්ඛවෙ, පාණාතිපාතා වෙරමණී. අදින්නාදානා වෙරමණි.[1] කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, අයං වුච්චති භික්ඛවෙ සම්මාකම්මන්තො.”

(මග්ග විභංග සුත්ත)

තේරුම :-

“මහණෙනි, සම්මාකම්මන්තය කවරේ ද? මහණෙනි, යම් ප්‍රාණඝාතයෙන් වැළකීමක් වේ ද, අදත්තා දානයෙන් වැළකීමක් වේ ද, කාමමිථ්‍යාචාරයෙන් වැළකීමක් වේ ද, මහණෙනි, මෙය සම්මාකම්මන්තය යි කියනු ලැබේ.

මෙයින් දැක්වෙන්නේ ප්‍රාණඝාතාදි කායදුශ්චරිත තුනෙන් වළක්නා ස්වභාවය, සම්‍යක්කර්මාන්තමාර්ගාංගය කියා ය. ප්‍රාණඝාතාදි කර්මයන් පිළිබඳ ව දත යුතු විස්තර බෞද්ධයාගේ අත්පොතෙන් දත හැකි බැවින් මෙහි නො දක්වනු ලැබේ. පූර්වභාගයෙහි යෝගාවචරයා අන් සිතකින් ප්‍රාණවධයෙන් වළකින්නේ ය. අන් සිතකින් අදත්තාදානයෙන් වළක්නේ ය. අන් සිතකින් කාම මිථ්‍යාචාරයෙන් වළකන්නේ ය. එබැවින් මේ සම්‍යක් කර්මාන්ත මාර්ගාංගය පාණාතිපාත විරතිය ය, අදින්නාදාන විරතිය ය, කාමෙසුමිච්ඡාචාර විරතිය යයි ත්‍රිවිධ වේ. ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි වනාහි ප්‍රාණඝාතාදි පාප කර්ම තුන ම කිරීමට හේතු වන ක්ලේශයන් ප්‍ර‍හාණය කිරීම් වශයෙන් අන්‍ය මාර්ගාංගයන් හා එක් ව ප්‍රාණඝාතාදි පාපත්‍ර‍ය ම දුරු කරන එක් ධර්මයක් වශයෙන් ලෝකෝත්තර භාවයෙන් උපදනේ ය.

සම්මා ආජීව

“කතමො ච භික්ඛවෙ, සම්මා ආජීවො? ඉධ භික්ඛවෙ, අරියසාවකො මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවෙන ජීවිකං කප්පෙති අයං වුච්චති භික්ඛවෙ, සම්මා ආජීවො.

(මග්ග විභංග සුත්ත)

තේරුම :-

“මහණෙනි, සම්මාආජීවය කවරේ ද? මහණෙනි, මේ සස්නෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මිථ්‍යාආජීවය හැර සම්‍යගාජීවයෙන් ජීවිකාව කෙරේද? මහණෙනි, එය සම්මාආජීවය යි කියනු ලැබේ.”

සම්මා ආජීව යන වචනය ගැන මතු පිටින් පමණක් සලකන්නකුට වැටහෙන්නේ මනා කොට ජීවත්වීම හෙවත් ජීවිතය පැවැත්වීම, සම්මා ආජීවය ය කියා ය. ඒ ජීවිතය පැවැත්වීම මාර්ගාංගයක් නො වේ. සම්‍යගාජීව මාර්ගාංගය වනුයේ දිවි පැවැත්ම සඳහා කරන දුශ්චරිතවලින් වැළකීම ය. ඇතැමෙක් දස්කම් පෙන්වීම, පලි ගැනීම ආදි නොයෙක් කරුණු සම්බන්ධයෙන් පව් කම් කෙරෙති. එසේ කරන්නා වූ වාග් දුශ්චරිතයන් ගෙන් වළක්නා ස්වභාවය සම්‍යග්වාචා මාර්ගාංගය ය. දස්කම් දැක්වීමාදිය පිණිස කරන ප්‍රාණඝාතාදියෙන් වළක්නා ස්වභාවය සම්‍යක්කර්මාන්ත මාර්ගාංගය ය. දිවි පැවැත්වීම සඳහා කරන කාය වාග් දුශ්චරිතයන්ගෙන් හා තවත් නුසුදුසු ක්‍රියාවලින් වැළකීම සම්‍යගාජීව මාර්ගාංගය ය.

සම්‍යගාජීවය ගිහි පැවිදි දෙපක්ෂයගේ වශයෙන් වෙන වෙන ම කිය යුතු ය. දිවි පැවැත්ම සඳහා කරන කාය වාග් දුශ්චරිතයන්ගෙන් හා අධර්ම වෙළඳාමෙන් වැළකීම ගිහියන් ගේ සම්‍යගාජීවය ය. එපමණකින් පැවිද්දන්ගේ ආජීවපාරිශුද්ධිය නො වේ. අනේසන මිච්ඡාජීව විරතිය ය, කුහනාදි මිච්ඡාජීව විරතිය ය, තිරශ්චීන විද්‍යා මිථ්‍යාජීව විරතිය ය යන මොවුන් ගේ වශයෙන් පැවිද්දන්ගේ සම්‍යගාජීවය කිය යුතු ය.

සිත් දිනා ගෙන ලාභ සත්කාර ලබා ගන්නා අටියෙන් ගිහියන්ට ලී - දඬු දීම, හුණ - දඬු දීම, මල් දීම, ගෙඩි දීම යනාදි කරුණු එක් විස්සෙන් වැළකීම අනේසන මිච්ඡාජීව විරතිය වූ සම්‍යගාජීවය ය. අනේසන එක්විස්ස බෞද්ධයාගේ අත්පොතෙහි දක්වා ඇත.

කුහනාදි මිච්ඡාජීවය කුහනා, ලපනා, නෙමිත්තිකතා, නිප්පේසිකතා, ලාභෙන ලාභං නිජිගිංසනතා යන වචන වලින් මහා නිද්දේශයෙහි පස් ආකාරයකින් දක්වා තිබේ.

එයින් කුහනය ද දායකයන් විසින් දෙන්නට තැත් කරන ප්‍ර‍ත්‍යය ප්‍ර‍තික්ෂේප කිරීම ය, තමාගේ ගුණ වටින් පිටින් කීම ය, ගුණ හැගෙන සැටියට ඉරියව් පැවැත්වීමය යන තුන් ආකාරයෙන් දක්වා තිබේ.

පින් කැමතියන් විසින් ආහාර පාන වස්ත්‍රාදි ප්‍ර‍ත්‍යයන් දෙන්නට තැත් කරන කල්හි ඔවුන් රවටා වඩ වඩා ප්‍ර‍ත්‍යය ලබනු කැමති ඇතැම් කපටි පැවිද්දෙක් “පමණට වඩා අපට ප්‍ර‍ත්‍යය වුවමනා නැත. අප ප්‍ර‍ත්‍යය රැස් කරන්නේ නැත. ඒ නිසා ඕවා අන් තැනකට දෙන්න’ යි කියා හෝ “මස් මාළු සහිත රස බොජුන් පැවිද්දන්ට හොඳ නැත. ඒවා වැළඳීමෙන් තණ්හාව වැඩෙනවාය, තණ්හාව නැති කරන්නට උත්සාහ කරන අපට වටිනා සිවුරු වටිනා ඇඳ පුටු - ඇතිරිලි - වටිනා ආවාස වුවමනා නැත’ යනාදිය හෝ කියා දෙන්නට තැත් කරන දායකයන් තමාගේ ලෝභ නැති කම දක්වා විස්මය පත් කරවයි. එයින් මුළා වූ මිනිස්සු ‘මේ හාමුදුරුවෝ පුදුම ගුණවතෙක්, කෙසේ නමුත් මුන් වහන්සේට යම් කිසිවක් දෙන්නට ඕනෑය’ යි සිතා වඩ වඩාත් ප්‍ර‍ත්‍යය ගෙනැවිත් දෙන්නට තැත් කරති. වඩ වඩා ප්‍ර‍ත්‍යය ගෙනැවිත් පිළිගන්නා ලෙස ඉල්ලන කල්හි ‘මේවා අප නො පිළිගනිතහොත් මුන්නැහේලාට පින් සිදු කර ගැනීමට මඟක් නැත. මුන්නැහේලාට කොයි සැටියෙකින් හෝ පින් සිදු කර ගන්නත් ඕනෑ ය, ඒ නිසා ඕවා පිළිගනිමි’ යි පසු ව පිළි ගනී. එසේ මිනිසුන් පුදුමයට පත් කරවා වඩ වඩා ප්‍ර‍ත්‍යය ලබා ගැනීම ප්‍ර‍ත්‍යය ප්‍ර‍තික්ෂේප කිරීමේ මිථ්‍යාජීවය ය.

ඇතැම් පැවිද්දෙක් තමා සාමාන්‍ය පැවිද්දන් වැනියකු නොව ධ්‍යානමාර්ගාදි උසස් ගුණ ඇතියකු සැටියට අන්‍යයන්ට හඟවා ප්‍ර‍ත්‍යය ලබනු පිණිස තමාගේ උසස් බව කෙළින්ම නො කියා ‘අසවල් වීදියේ සිවුරු පොරෝනා භික්ෂූහු මහානුභාව ඇත්තෝ ය, උසස් පැවිද්දෝ ය. අසවල් ආකාර පාත්‍ර‍ පරිහරණය කරන්නෝ, අසවල් ආකාර ස්ථානවල වාසය කරන්නෝ මහානුභාවසම්පන්නයෝය’ යි තමා එබඳු කෙනෙකැ යි අන්‍යයන්ට සිතෙන සැටියට වටින් පිටින් කරුණු කියති. එසේ කියා මිනිසුන් පහදවා ප්‍ර‍ත්‍යය ලැබීම වටින් පිටින් ගුණ කීමේ මිථ්‍යාජීවය ය.

ඇතැම් පැවිද්දෙක් තමා ධ්‍යානාදි ගුණ විශේෂ ඇතියෙකැයි අන්‍යයන් ලවා සිතවනු පිණිස මිනිසුන් පැමිණෙන කල්හි වාඩි වී බිම බලා ගෙන නො සෙල්වී සිටිති. මිනිසුන් සමීපයට පැමිණියත් කතා නො කරති. කථා කරතත් ඉක්මනින් කථා නො කරති. නො දුටු සේ සිට කල් යවා කථා කරති. මඟ යන කල්හි මිනිසුන් දුටු විට ද බිම බලා ගෙන සෙමින් යති. ළඟට පැමිණි අය දෙස ද නො බලති. කථා නො කරති. මේ ගුණ හැගෙන සේ සිටීම, ඉරියව් පැවැත්වීම් වශයෙන් පවත්වන මිථ්‍යාජීවය ය.

ලපනා යනුවෙන් දැක්වෙන්නේ දෙන්නට සිතෙන සැටියට හා නො දී නො සිටිය හැකි සැටියටත් කථා කිරීමෙන් ප්‍ර‍ත්‍යය ලබා ගැනීම වූ මිථ්‍යාජීවය ය. එහි බොහෝ ආකාර ඇත්තේ ය. ඇතැම් පැවිදි කෙනෙක් මිනිසුන් ආරාමයට පැමිණි කල්හි ‘මුන්නැහේලා පැමිණ සිටින්නේ ආරාධනාවකට වෙන්නට ඇත. පින්කම කවදා ද?’ යනාදීන් දන් දීමට සිතෙන සැටියට මිනිසුන්ට කථා කොට ප්‍ර‍ත්‍යය ලබති. ‘අසවල් ඇමතිතුමා, අසවල් මැතිතුමා, අසවල් මැතිනිය අප දායකයෝ ය. අපට බොහෝ සලකනවාය, නිතර අප දක්නට එනවාය, නිතර අප ගැන සොයා බලනවාය යනාදීන් තමන්ට උසස් අය සලකන බවකියා අනුන් ගෙන් ප්‍ර‍ත්‍යය ලබති.

ඇතැමෙක් තමන් වෙත පැමිණෙන මිනිසුන්ට උසස් කොට ස්තුති කොට කථා කර ඔවුන් සතුටු කරවා ප්‍ර‍ත්‍යය ලබති. ඇතැමෙක් ‘පෙර නම් මුන්නැහේලා ගේ ගෙදර මේ මාසවල පින්කම් කරනවා ය, මේ අවුරුද්දේ තව ම නැත්තේ අවකාශ ලැබී නැතුව වෙන්නට ඇත. පෙර පටන් කර ගෙන එන වැඩ අත පසු කරන්න හොඳ නැත’ යනාදීන් නො දී නො සිටිය හැකි තැනට කථා කොට ප්‍ර‍ත්‍යය ලබති. ඇතැමෙක් ‘මුන්නැහේලා ගේ ගෙදරට යමක් ලැබුණහොත් පන්සල අමතක කරන්නේ නැත, ඒවා දෙන්නේ ද අපට ම ය’ යනාදීන් උසස් කොට කථා කිරීමෙන් සතුටු කරවා ප්‍ර‍ත්‍යය ලබති. ඇතැමෙක් මිනිසුන් පැමිණි කල්හි සත්‍යය ගැන ධර්මය ගැන නො බලා ඔවුන් සතුටු වන සැටියට ඔවුන්ට අනුකූල ව කථා කොට ප්‍ර‍ත්‍යය ලබති. ඇතැමෙක් තමන් පහත් තන්හි තබා ගිහියන් උසස් තැන තබා කථා කිරීමෙන් ඔවුන් සතුටු කොට ප්‍ර‍ත්‍යය ලබති. ඇතැමෙක් බොරු සැබෑ මිශ්‍ර‍ කොට මිනිසුන් සතුටු වන සැටියට කථා කොට ප්‍ර‍ත්‍යය ලබති. ඇතැමෙක් ගිහියන් ගේ දරුවන් සුරතල් කොට ඔවුන් සතුටු කරවා ප්‍ර‍ත්‍යය ලබති. මේ සියල්ල ලපනා යනුවෙන් දැක්වෙන මිථ්‍යාජීවය ය.

නේමිත්තිකතා යනුවෙන් දැක්වෙන මිථ්‍යාජීවය නම් කථාවෙන් හෝ යම්කිසි ක්‍රියාවකින් හෝ ගිහියන් කෙරෙහි ප්‍ර‍ත්‍යය දීමේ අදහස ඇති කරවා ප්‍ර‍ත්‍යය ලබා ගැනීම ය. පෙර එක කුලුපග භික්ෂුවක් දන් වළඳා යනු කැමැත්තෙන් ගෙයකට පිවිස හිඳ ගත්තේ ය. එහි ගැහැනිය ඒ භික්ෂුවට කිසිවක් නො දී පිටත් කර යවන්නට සිතා ‘සහල් නැත’ ය යි කියමින් සහල් ගෙනෙන්නට යන ආකාරයෙන් අසල ගෙයකට ගියා ය. මේ අතර භික්ෂුව ගෙය තුළට පිවිස බලනුයේ එක්තැනක උක්දණ්ඩක් ද, එක් බඳුනක සකුරු ද, කූඩයක ලුණුමාලු ද, සැළියක සහල් ද කළයක ගිතෙල් ද තිබෙනු දැක එළියට අවුත් කිසිත් නො දන්නාක් මෙන් වාඩි වී හුන්නේ ය.

මඳ වේලාවක් ගත කොට, ‘අද නම් කොතැනකින්වත් සහල් ටිකක් සොයා ගන්නට නුපුළුවන් වී ය’ යි කියමින් ගැහැනිය ගෙට ආවා ය. එකල්හි භික්ෂුව “අනේ උපාසිකාවෙනි, අද දානය හරි නො යන බවට නිමිත්ත මම මඟදී දුටුවෙමි” යි කීය. “ස්වාමීනි, ඒ කුමක්දැ“යි උපාසිකාව කීවා ය. භික්ෂුව කියනුයේ, “උපාසිකාවෙනි, මම මඟදී අර කවුළුවෙහි තිබෙන උක්දඬුව වැනි නපුරු සර්පයකු දුටිමි. ඌට ගසන්නට දෙයක් සෙවීමට වට පිට බලන කල අර සැළියේ තිබෙන සකුරු කැට වැනි ගල් කැට ටිකක් දුටිමි. ඒවායින් ගැසූ විට අර පැසෙහි තිබෙන ලුණුමාලු පෙති සේ සර්පයා පෙණය කළේ ය. උගේ දත් අර සැළියේ ඇති සහල් වැනි ය. කිපුණා වූ උගේ කටින් අර කළයේ තිබෙන ගිතෙල් බඳු පෙණ වැගුරුණේ ය. උපාසිකාවෙනි, මේ මා දුටු නිමිත්තය” යි කීයේ ය. උපාසිකාව මේ මහණ නො රැවටිය හැකිය යි සිතා උක්දඬුව ගෙන භික්ෂුවට කලින් දී බත පිස ගිතෙල් ලුණුමාලු සකුරු සමග භික්ෂුවට දන් දුන්නා ය. මෙසේ කථාවෙන් ප්‍ර‍ත්‍යය ලබා ගැනීම නේමිත්තිකතා යනුවෙන් දැක්වෙන මිථ්‍යාජීවය ය.

නිප්පේසිකතා යනුවෙන් දැක්වෙන මිථ්‍යාජීවය නම් ගර්හා කිරීම් ආදියෙන් මිනිසුන් පෙළා ප්‍ර‍ත්‍යය ලබා ගැනීම ය. ඇතැමෙක් දන් දෙන්නට නො කැමති වුව ද නො දීමෙන් වන නින්දාවට බියෙන් නො කැමැත්තෙන් ම දන් දීම කෙරෙති. ඇතැම් පැවිද්දෝ දන් නො දෙන්නා වූ ඒ ගිහියන්ට නොයෙක් අයුරින් ගර්හා කොට ලජ්ජාවට පමුණුවා ඔවුන්ගෙන් ප්‍ර‍ත්‍යය ලබා ගනිති. එසේ කරන්නෝ ‘මොහුට ආගමක් නැත. මොහු නො මැරෙන්නට සිටින කෙනක, මොහු පරලොව යන විට ද වස්තුව ගෙන යන්නට සිටින කෙනක’ යනාදීන් මිනිසුන්ට නින්දා කෙරෙති. ‘මොනවා කියනවා ද මොහු මහා දානපතියෙක, දැනට කොතෙක් වස්තුව දී තිබෙනවා ද කියා නො දනිමු’ යි කවට කම් කරති. ‘තමුසෙලා මොහු නො දෙන කෙනකැ යි කියන්නාහු ය. මොහු නො දෙන කෙනක් නො වේ ය. මොහු හැමදා ම හැම දෙනාට ම ‘නැතය’ යන වචනය දෙන්නේ ය’, යනාදීන් පරිහාස කෙරෙති. නො දෙන තැනැත්තා ගේ අවගුණ පතුරුවති. මෙසේ මිනිසුන් පෙළා ප්‍ර‍ත්‍යය ලැබීම නිප්පෙසිකතා යනුවෙන් දැක්වෙන මිථ්‍යාජීවය ය.

ලාභෙන ලාභං නිජිගිංසහනතා :- යනුවෙන් දැක්වෙන මිථ්‍යාජීවය නම් එකකුගෙන් ලැබුණු දෙය අනිකකුට දීමෙන් ද, ඔහුගෙන් ලැබුණු දෙය තවත් කෙනකුට දීමෙන් ද, මෙසේ නරක දේ දී හොඳ හොඳ දේ ලබා ගැනීම ය.

තිරශ්චීන විද්‍යා මිථ්‍යාජීවය මෙසේ ය :-

මේ බුදුසස්නෙහි උසස් කොට සලකන විද්‍යා අටක් ඇත්තේ ය. “විජ්ජා චරණ සම්පන්නො” යන බුද්ධගුණය වර්ණනා කරන තැන්වලින් ඒ විද්‍යා අට දත හැකි ය. (අප විසින් සම්පාදිත “සූවිසි මහාගුණය” බලනු). ලාභය පිණිසත් විනෝදය පිණිසත් ලෝකයෙහි භාවිත කරන නිවන් ලැබීමට හේතු නො වන තරමකින් වත් නිවන් ලැබීමට බාධා පිණිස පවතින තවත් බොහෝ විද්‍යා ලෝකයෙහි ඇත්තේ ය. මේ සස්නෙහි ඒ විද්‍යා තිරශ්චීන විද්‍යා නාමයෙන් හඳුන්වනු ලැබේ. බ්‍ර‍හ්මජාල සූත්‍රාදියෙහි චූලශීල, මධ්‍යමශීල, මහාශීල වශයෙන් සිල් තුනක් දක්වා ඇත්තේ ය.

“අංගං නිමිත්තං උප්පාදං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහොමං දබ්බිහොමං ථුසහොමං කණහොමං තණ්ඩුලහොමං සප්පිහොමං තෙලහොමං මුඛහොමං ලොහිතහොමං අංගවිජ්ජා වත්ථුවිජ්ජා ඛෙත්තවිජ්ජා” යනාදීන් මහා ශීලය විස්තර කිරීමේ දී තිරශ්චීන විද්‍යා බොහෝ ගණනක් දක්වා ඇත්තේ ය. ඒවායින් ප්‍ර‍ත්‍යය ලබා ගැනීම තිරශ්චීන විද්‍යා මිථ්‍යාජීවය ය. තිරශ්චීන විද්‍යා බොහෝ බැවින් මෙහි විස්තර නො කරනු ලැබේ. ඒවා දීඝනිකායේ බ්‍ර‍හ්මජාල සූත්‍රයෙන් හෝ ශ්‍රාමණ්‍යඵල සූත්‍රයෙන් හෝ සූවිසු මහා ගුණයෙන් බලාගත යුතු ය. කියන ලද මිථ්‍යාජීවයන්ගෙන් වෙන්වීම හා ආජීවය සම්බන්ධයෙන් පනවා ඇති සිකපද රැකීම ද පැවිද්දන් ගේ වශයෙන් කිය යුතු සම්මාආජීවය ය.

මේ සම්‍යගාජීව මාර්ගාංගය ද ලෞකික අවස්ථාවේදී ආජීව හේතුක ප්‍රාණඝාතාදීන්ගෙන් වැළකීම් වශයෙන් වෙන වෙන ම ඇති වේ. ලෝකෝත්තරමාර්ගක්ෂණයෙහි වනාහි අන්‍ය මාර්ගයන් හා එක්ව එක් වර සකල දුශ්චරිතයන් ම ප්‍ර‍හාණය කිරීම් වශයෙන් ඇති වේ.

සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව යන වචන වලින් දැක්වෙන මේ මාර්ගාංග තුන අභිධර්ම පොත්වල දැක්වෙන විරති චෛතසික තුන ය. විරතීහු පාපයෙන් වැළකීම් වශයෙන් උපදනා චෛතසික ධර්මයෝ ය.

ඒ විරතීහු සම්පත්ත විරතිය, සමාදාන විරති ය, සමුච්ඡේද විරතිය යි තුන් වැදෑරුම් වෙති. ‘මම මේ මේ පව්කම්වලින් වළකිමි ය, මේ මේ පව්කම් නො කර හරිමි’ ය කියා, සිතා ගැනීම වූ සමාදානයක් කලින් නැති ව, පාපක්‍රියාවන් කරන්නට සිදු වන කරුණක් පැමිණි කල්හි - අවස්ථාවක් පැමිණි කල්හි තමා ගේ වයස උගත්කම ආදිය ගැන සිතා අපට මෙවැනි දේ නුසුදුසු ය යි සලකා පව්කම්වලින් වැළකීම සම්පත්ත විරති නම් වේ. එයට උදාහරණයක් වශයෙන් අතීතයේ මේ දිවයිනෙහි විසූ චක්කණ නමැත්තකු ගේ කථාවක් දක්වා තිබේ.

ඒ මෙසේ ය:-

චක්කණ තරුණ කාලයේ දී ඔහුගේ මව රෝගාතුර වූවා ය. ඒ රෝගයට සා මස් වුවමනා බව වෙද මහතා කී ය. චක්කණගේ අයියා සා මස් සොයා ගෙන එනු පිණිස ඔහු කෙතට යැවී ය. ඒ කෙතෙහි ළපටි ගොයම් කෑමට පැමිණි සිටි සාවෙක් චක්කණ දැක බිය වී දුවන්නේ වැලක පැටලී ‘කිරි කිරී’ යි හැඬීය. චක්කණ සාවාගේ හඬ අසා එහි ගොස් ඌ අල්ලා ගෙන මවට බෙහෙත් පිණිස ඌ මරන්නට සිතා, නැවත මවගේ ජීවිතය පිණිස අනෙකකුගේ ජීවිතය නැති කිරීම නුසුදුසු ය යි සිතා සාවා අත හැරියේ ය. චක්කණ ගෙදර ගිය කල්හි ‘සා මස් ලැබුනේදැ’ යි ඔහුගෙන් ඇසී ය. චක්කණ සිදු වූ පුවත අයියාට කීය. අයියා ඔහුට සැර කෙළේ ය. එකල්හි චක්කණ මව සමීපයට ගොස් “උපන් තැන් පටන් මේ වන තුරු මා කවදාවත් දැන දැන සතකු මරා නැත. ඒ සත්‍යානුභාවයෙන් මාගේ මෑණියෝ සුවපත් වෙත්වා” යි සත්‍යක්‍රියා කෙළේ ය. එකෙණෙහි ම මවගේ රෝගය සුව විය.

“මම මේ මේ පව්කම් නොකරමි ය, මේ මේ පව්කම් වලින් වැළකෙමි ය” යි සිකපද සමාදන් වූවන්ට සිකපද සමාදානයෙහි ද, සමාදන් වූ සිකපද රැකීමෙහි ද, ඇති වන විරතිය සමාදාන විරති නම් වේ. එයට උදාහරණ වශයෙන් මෙම ලක්දිව උතුරු වඩුන්නා පවුවෙහි විසූ ගොවියකු ගේ කථාවක් දක්වා තිබේ.

ඒ මෙසේ ය :-

උතුරු වඩුන්නාවේ ගොවියා අම්බරිය විහාරයේ පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ වෙතින් පන්සිල් සමාදන් වී කෙතට ගොස් සෑවේ ය. එක දවසක් ඔහුගේ ගොනෙක් නැති විය. ගොවියා ගොනු සොයනු පිණිස උතුරු වඩුන්නා කන්දේ ඇවිදින්නේ පිඹුරකුට හසු විය. එදා ඔහු අත හොඳට කැපෙන කැත්තක් ද තිබිණ. ශරීරය වෙළන්නා වූ පිඹුරා ගේ හිස සිඳ දමා ගැළවෙන්නට ඔහුට සිතිණ. නැවත ඔහුට සම්භාවනීය ගුරුවරයකු වෙතින් ගත් ශීලය බිඳ දැමීම නුසුදුසු යයි සිතිණ. පිඹුරා ගේ වෙළීමෙන් වඩ වඩා වේදනාව ඔහුට ඇති විය. එහෙත් ඔහු එය ඉවසුවේ ය. පිඹුරා මරා දමා ගැළවෙන්නට තුන් වරක් ම ඔහුට සිතුණේ ය. එහෙත් ඔහු එය නො කෙළේ ය. අන්තිමේ දී ඔහු ‘ජීවිතය පරිත්‍යාග කෙරෙමිය, සිකපද නො බිඳිමි’ ය යි නැවත නැවත පිඹුරා මැරීමේ සිත පහළ නො වනු පිණිස අත තුබූ කැත්ත ඈතට වීසි කෙළේ ය. එකෙණෙහි පිඹුරා ඔහු හැර ගියේ ය.

ලෝකෝත්තර චිත්තය හා උපදනා විරතිය සමුච්ඡෙද විරති නම් වේ. එය ඉපදීමෙන් පසු ආර්‍ය්‍යපුද්ගලයන්ට ප්‍රාණ වධ කිරීමට නො සිතෙන්නේ ය. සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන මේ තුන ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයේ ශීලාංග යෝ ය. එහෙත් හැම ශීලයක් ම බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාවට නො ගැනේ.

“සම්මාවාචං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධ-නිස්සිතං වොස්සග්ග පරිණාමිං, සම්මාකම්මන්තං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, සම්මාආජීවං භාවෙති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං.”

යනුවෙන් වදාරා ඇති සැටියට බෝධිපාක්ෂික ධර්මයන්ට ඇතුළු වන්නේ මඟපල ලබා නිවන් දක්නා රිසියෙන් රක්නා ශීලය ය. බොහෝ දෙනා දෙවි මිනිස් සැප පිණිස ද සිල් රකිති. වෘත්තනිශ්‍රිත වූ ඔවුන්ගේ ඒ ශීලය නිවන් පිණිස නො වන බැවින් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාවට නො පැමිණේ. මේ ජාතියේ දී මඟපල ලැබීමේ බලාපොරොත්තුව හැර දමා, භව භෝග සම්පත් හා අනාගතයේ නිවනත් බලාපොරොත්තු වන පින්වතුන්ගේ ශීලය බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් වන “ශුඬ ආදි බ්‍ර‍හ්මචර්‍ය්‍යක ශීලය නො වතුදු නිවන ගැනත් මතු බලාපොරොත්තු වන බැවින් පාරමිතාශීල සංඛ්‍යාවට ඒකදේශයකින් අයත් වන බව කිය යුතු ය.

සම්මා වායාම

“කතමො ච භික්ඛවෙ, සම්මාවායාමො? ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහාණාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීය්‍යෙභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති භික්ඛවෙ සම්මාවායාමො.”

(මග්ගවිභංග සුත්ත)

තේරුම :-

“මහණෙනි, සම්‍යක්ව්‍යායාමය කවරේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ස්වසන්තානයෙහි අතීතයෙහි නූපන්නා වූ ලාමක වූ අකුශල ධර්මයන් මතු ස්වසන්තානයෙහි ඇති නො වන පිණිස ඕනෑ කෙරේ ද, උත්සාහ කෙරේ ද, කායික චෛතසික වීර්‍ය්‍යයන් යොදවා ද, වීර්‍ය්‍යයෙන් සිත ඔසවා ද මහත් කොට වීර්‍ය්‍ය කෙරේ ද, උපන්නා වූ ලාමක වූ අකුශල ධර්මයන් ප්‍ර‍හාණය පිණිස ඕනෑ කෙරේ ද, උත්සාහ කෙරේ ද කායික චෛතසික වීර්‍ය්‍යයන් යොදවා ද, සිත ඔසවා ද, මහත් කොට වීර්‍ය්‍ය කෙරේ ද, උපන් කුශලධර්මයන් ගේ පැවැත්ම පිණිස - නො නැස්ම පිණිස නැවත නැවත ඇති වනු පිණිස මහත් වනු පිණිස වැඩීම පිණිස සම්පූර්ණ වීම පිණිස ඕනෑ කම් කෙරේ ද, උත්සාහ කෙරේ ද, කායික චෛතසික වීර්‍ය්‍යයන් යොදවා ද, වීර්‍ය්‍යයෙන් සිත ඔසවා ද, මහත් කොට වීර්‍ය්‍ය කෙරේ ද, මහණෙනි, මෙය සම්මාවායාම ය යි කියනු ලැබේ ය” යනුයි.

මාර්ගාංග ධර්ම විෂයෙහි සම්මාවායාම යනුවෙන් දැක්වෙන්නේ ඉහත සම්මප්පධාන, විරියිද්ධිපාද, විරියින්ද්‍රිය, විරියබල, විරියසම්බොජ්ඣංග යන නම් වලින් දැක්වුණු වීර්‍ය්‍ය චෛතසිකය ම ය. එය සම්‍යක්ප්‍ර‍ධාන කථාවේ දී විස්තර කර ඇති බැවින් මෙහි දී එය ගැන අමුතුවෙන් කිය යුත්තක් නැත්තේ ය.

සම්මා සති

“කතමා ච භික්ඛවෙ, සම්මාසති? ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෝමනස්සං, වෙදනාසු වෙදනාසුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෝමනස්සං චිත්තෙ චිත්තානුපස්සී විහරති, ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෝමනස්සං, ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෝමනස්සං, අයං වුච්චති භික්ඛවෙ! සම්මාසති.”

(මග්ගවිභංග සුත්ත)

තේරුම :-

“මහණෙනි, සම්මාසතිය කවරේද? මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ, කාය කොට්ඨාසයන් මනා කොට දක්නා නුවණින් යුක්ත වූයේ, කායකොට්ඨාසයන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, දෙතිස් කොටසක් ඇති මේ කයෙහි කේශාදි කායකොට්ඨාසයන් නැවත නැවත සිතින් බලමින් කය කෙරෙහි ඇලීම් ගැටීම් දෙක දුරු කොට වාසය කෙරේ ද, මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ, ත්‍රිවිධ වේදනාවන් මැනවින් දක්නා නුවණින් යුක්ත වූයේ, වේදනාවන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, ත්‍රිවිධ වේදනාවන්හි ඒ ඒ වේදනාව නැවත නැවත සිතින් බලන්නේ වේදනා සංඛ්‍යාත ලෝකයෙහි ඇලීම්-ගැටීම් දෙක දුරු කොට වෙසේ ද, මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ, සරාගාදි චිත්තයන් මැනවින් දක්නා නුවණින් යුක්ත වූයේ, චිත්ත කොට්ඨාසයන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, චිත්තයන්හි ඒ ඒ චිත්තය නැවත නැවත සිතින් බලමින් චිත්ත සංඛ්‍යාත ලෝකයෙහි ඇලීම්-ගැටීම් දෙක දුරු කොට වෙසේ ද මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ, නීවරණාදි ධර්ම මැනවින් දක්නා නුවණින් යුක්ත වූයේ, නීවරණාදි ධර්මයන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, නීවරණාදි ධර්මයන්හි ඒ ඒ ධර්මය නැවත නැවත සිතින් බලමින් ධර්ම සංඛ්‍යාත ලෝකයෙහි ඇලීම් - ගැටීම් දෙක දුරු කොට වෙසේ ද, මහණෙනි, මෙය සම්මාසතිය ය යි කියනු ලැබේ.” ය යනුයි.

මේ දේශනාවෙන් දැක්වෙන්නේ ඉහත දැක්වූ සතිපට්ඨාන සතර ම සම්‍යක්ස්මෘති මාර්ගාංගය බව ය. සතිපට්ඨාන සතරය යි කියනුයේ ද දෙපනස් චෛතසිකයන්ගෙන් එකක් වූ ‘සති’ නම් වූ චෛතසිකය යි. ඒ සතිය භවභෝග සම්පත් පිණිස කරන කුශල විෂයයෙහි ද ඇත්තේ ය. බෝධිපාක්ෂික ධර්ම වශයෙන් මෙහි ගනු ලබන්නේ නිවන් පිණිස කරන කුශල විෂයයෙහි පවත්නා සතිය ය. එය ලෞකික අවස්ථාවෙහි කායාදි විෂයයෙහි පවත්නේ ය. එය කායාදි විෂයයෙහි දියුණු වී ලෝකෝත්තරත්වයෙන් පහළ වන කල්හි අන්‍ය මාර්ගාංගයන් හා එක් ව නිවන අරමුණු කොට පහළ වේ. සතිපට්ඨාන සතර පිළිබඳ විස්තරයක් ඉහත කරන ලදි.

ඉහත දැක්වූ පාඨයෙහි “විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං” යන තන්හි ලෝකය යි කියනුයේ නිවන් පිණිස පවත්වන සති චෛතසිකයට ස්ථාන වන හෙවත් සති චෛතසිකයේ අරමුණු වන කාය, වේදනා, චිත්ත, ධර්ම යන මේවාට ය. නුවණින් තොර ව කායාදිය ගැන සිතන්නන්ට ඒ කායාදීන්හි ඇල්ම හෝ ඇති වේ. ඒවා නරක් වන කල්හි ඒවා ගැන විරුද්ධත්වය හෙවත් නො සතුට ඇති වේ. තමන් ගේ ඉන්ද්‍රියයන්ට හසුවන දේවලට ඇලුම් කිරීම හෝ විරුද්ධ වීම සාමාන්‍ය ජනයා ගේ සිරිත ය. මෙහි ගැටීම ය යි කියන ලදුයේ ඒ විරුද්ධ වීමට ය.

සත්ත්වයනට සසර දික් වන්නේ ඔවුන් දුකින් නො මිදෙන්නේ ඒ ඇලීම් - ගැටීම් දෙක නිසා ය. සතුටු වීම්, නො සතුටු වීම් දෙක ඇති වන්නේ කායාදිය නිත්‍ය, සුඛ, ශුභ, ආත්ම වශයෙන් බලන්නන්ට ය. කායාදීන්හි කේශාදි වශයෙන් බලන්නා වූ යෝගාවචරයාට කේශාදි වශයෙන් කායාදියෙහි සිහිය පවත්වා ගෙන සිටින යෝගාවචරයා හට කායාදියෙහි ඇල්මක් හෝ ගැටීමක් ඇති නොවේ. ඇලීම් - ගැටීම් දෙක නො වන සැටියට සිහිය පැවැත්වීම නිවන් මඟ ය. එබැවින් කායාදීන්හි පවත්වන ඥානසම්ප්‍ර‍යුක්ත සතිය සම්‍යක්ස්මෘති නම් වූ මාර්ගාංගය ද වන්නේ ය.

සම්මා සමාධි

“කතමා ච භික්ඛවෙ, සම්මාසමාධි? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිහාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති, පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සති මා සුඛවිහාරිති තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා පුබ්බෙ ච සොමනස්ස දොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසති පාරිසුද්ධිං චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, සම්මාසමාධි.”

(මග්ග විභංග සුත්ත)

තේරුම :-

“මහණෙනි, සම්මාසමාධිය කවරේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කාමයන් කෙරෙන් වෙන් ම අකුශලයන් කෙරෙන් වෙන් ව විතර්ක සහිත වූ, විචාර සහිත වූ කාය චිත්ත විවේකයන් නිසා හටගත් ප්‍රීතිය හා සුඛය ඇත්තා වූ ප්‍ර‍ථමධ්‍යානය උපදවා වාසය කෙරේ ද, මහණ තෙමේ විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් ස්වසන්තානයෙහි හටගත් සම්ප්‍ර‍සාදයෙන් යුක්ත වූ චිත්තයා ගේ එකඟ බව වූ විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත්තා වූ ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්‍යානය උපදවා වාසය කෙරේ ද? මහණ තෙමේ ප්‍රීතිය කෙරෙහි ඇල්ම ද හැර උපේක්ෂක ව වෙසේ ද, සිහියෙන් හා නුවණින් යුක්ත වූයේ කයින් සුඛය විඳින්නේ ද වෙයි. යම් තෘතිය ධ්‍යානයක් නිසා ආර්‍ය්‍යයෝ ද ඒ ධ්‍යානයෙන් යුක්ත පුද්ගලයා සුවසේ වෙසෙන්නෙකැ යි කියා ද, ඒ තෘතීය ධ්‍යානය උපදවා වාසය කෙරේ ද, මහණ තෙමේ සුඛය ද ප්‍ර‍හාණය කිරීමේ දුඃඛය ද ප්‍ර‍හාණය කිරීමෙන් පළමුවෙන් ම සෝමනස්ස දෝමනස්ස දෙක ද නිරුද්ධ වීමෙන් උපේක්ෂාව නිසා පිරිසිදු වූ සිහිය ඇති චතුර්ථ ධ්‍යානය උපදවා වෙසේ ද, මහණෙනි, මෙය සම්මාසමාධි නමි” යනු යි.

මේ වාක්‍ය බලන කල මතු පිටින් පෙනෙන්නේ පුද්ගලයා සම්මාසමාධිය සේ ය. පුද්ගලයා සම්මාසමාධිය ය යි නො ගත යුතු ය. මෙය පුද්ගලයාගේ වශයෙන් ඔහු තුළ ඇති ධර්මය දක්වන දේශනයකි. මෙබඳු දෙසුම්වලට කියන්නේ ‘පුග්ගලාධිට්ඨාන දේසනා’ කියා ය. මෙවැනි දේශනා පිටකත්‍රයෙහි බොහෝ ය. ඉහත දැක් වූ දේශනයේ අදහස කොටින් කියතහොත් කිය යුත්තේ ප්‍ර‍ථමධ්‍යාන සමාධිය, ද්විතීයධ්‍යාන සමාධිය, තෘතීයධ්‍යාන සමාධිය, චතුර්ථධ්‍යාන සමාධිය යන සමාධි සතර සම්‍යක්සමාධි මාර්ගය කියා ය.

ඉහත දැක් වූ පාඨයෙහි දැක්වෙන සමාධි සතර ද ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වේ. ලෞකික සමාධිය ද ඇතැමෙක් බ්‍ර‍හ්මලෝකයෙහි ඉපදීම ආදි කරුණු පිණිස ද වඩති. එසේ වැඩූ ලෞකික සමාධිය වෘත්තනිඃශ්‍රිත බැවින් බෝධිපාක්ෂික සම්මාසමාධියට අයත් නොවේ. ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට උත්සාහ කරන්නෝ ද ශමථයානික විදර්ශනායානික වශයෙන් දෙකොටසකි. එයින් ශමථයානිකයන් ධ්‍යාන වඩන්නේ ලෝකෝත්තර මාර්ගයට උපකාර පිණිස ය. එබැවින් ඒ ශමථයානිකයන් ගේ ලෞකික සමාධි සතර, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධියට අයත් වේ. මග්ග විභංග සූත්‍රයෙහි පරිකර්‍ම සමාධි, උපචාර සමාධි යන කාමාවචර සමාධි දෙක නො ගන්නා ලද්දේ උසස් සමාධිය පමණක් දැක්වීම් වශයෙනි. ශමථයානිකයන්ගේ හා විදර්ශනායානිකයන්ගේ පරිකර්-මෝපචාර කාමාවචර සමාධි දෙක ද සම්‍යක්සමාධි මාර්ගය ම ය. ඒ සමාධිය ලෞකික අව්සථාවේ කසිණාදි නානාරම්මණයන්හි පවතිමින් වැඩී ලෝකෝත්තර මාර්ග චිත්තය පහළවීමේ දී නිවන අරමුණු කරමින් අන්‍ය මාර්ගාංගයන් හා එක් ව උපදනේ ය.

ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ස්කන්ධත්‍ර‍යට සංග්‍ර‍හ වන අයුරු

මේ සස්නෙහි ශීලය, සමාධිය, ප්‍ර‍ඥාවය කියා නිවන් ලබනු පිණිස ඇති කර ගත යුතු - වැඩිය යුතු ධර්ම තුනක් ඇත්තේ ය. ශීලය ශීල වශයෙන් එකක් වුව ද එහි බොහෝ ප්‍රභේද ඇත්තේ ය. අනේකවිධ ශීලයන් එක් කොට ඒ සියල්ලට ම ශීලස්කන්ධය යි කියනු ලැබේ. සමාධි ප්‍ර‍ඥාවෝ ශීලය සේ ම අනේකප්‍ර‍කාර වෙති. අනේකවිධ සමාධීන් එක් කොට ඒ සියල්ලට ම සමාධිස්කන්ධය යි කියනු ලැබේ. අනේකවිධ ප්‍ර‍ඥාවන් එක් කොට ඒ සියල්ලට ම ප්‍ර‍ඥාස්කන්ධය යි කියනු ලැබේ.

“යාචාවුසො විසාඛ, සම්මාවාචා යො ච සම්මා කම්මන්තො යො ච සම්මා ආජීවො ඉමෙ ධම්මා සිලක්ඛන්ධෙ සංගහිතා”

යනුවෙන් චූල වේදල්ල සූත්‍රයෙහි දැක්වෙන පරිදි මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව යන අංග තුන ශීලස්කන්ධයට අයත් ය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයට අයත් වූ මේ ශීලය ආජීවාෂ්ටමක ශීලය ය.

සමහරකු මේ ආජීවාෂ්ටමක ශීලය සමාදන් කරවන නමුත්, එය නිත්‍ය ශීලයක් වශයෙන් සමාදන් වී ආරක්ෂා කිරීම සමුච්ඡේද වශයෙන් ක්ලේශයන් ප්‍ර‍හාණය කර නැති පෘථග්ජන පුද්ගලයනට දුෂ්කර ය. පෘථග්ජනයන්ට නිත්‍යශීලය වශයෙන් රැකීමට ගන්නා පඤ්චශීලය පිළියෙල කර තිබෙන්නේ ආජීවාෂ්ටමකශීලයෙන් අංග සතරක් පමණක් ගෙන ය. අෂ්ටාංගශීල, නවාංග ශීල, දශශීලවලට ගෙන ඇත්තේ ද අංග සතරක් පමණෙකි. සාමණේරශීලයට ගෙන ඇත්තේ ද ඒ අංග සතර පමණෙකි.

බොහෝ ශික්ෂාපද ඇති මහාශීලය උපසම්පදා ශීලය ය. එහි ද සම්පප්‍රලාප වචීකර්මය පිළිබඳව ශික්ෂාපදයත් නැත. ඒ අනුව නිර්වාණය අරභයා පැවිදි බිමෙහි හැසිරෙන භික්ෂු-භික්ෂුණීන් සඳහා ද ආජීවාෂ්ටමක ශීලයෙහි සියලු අංග ඇතුලත් කර නැත.

ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර‍වලත්, අටුවා ග්‍ර‍න්ථවලත් නිත්‍ය ගිහි ශීලය වශයෙන් දක්වා ඇත්තේ පඤ්ච ශීලයයි. සෝවාන් පුද්ගලයන්ගේ ශීලය (අරියකන්ත ශීලය) වශයෙන් අටුවාවේ දක්වා ඇත්තේ ද පඤ්ච ශීලයයි.

ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි ඇතුළත් වන්නේ ආජීවාෂ්ටමක ශීලය වන නමුත්, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ පඤ්ච ශීල, අෂ්ටංග ශීල, නවාංග උපෝසථ ශීල, දශ ශීල, උපසම්පදා ශීල යන මේ ශීලයක පිහිටා විදර්ශනා වැඩීමෙනි. විදර්ශනා වැඩීමෙහි යෙදෙන කල්හි මිච්ඡාවාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීවයන්ට හේතු වන ක්ලේශයන් දුරු වීමෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මාර්ගාංගයෝ වැඩෙති. ප්‍ර‍ථම මාර්ගය වන සෝතාපත්ති මාර්ගයට පැමිණි තැනැත්තාට “අරිය කන්තෙහි සීලෙහි සමන්නාගතෝ හොති” යන අංගය ඇතිවන්නේ එහෙයිනි. එය ශීල සමාදානයෙන් වන්නක් නොව ක්ලේශයන් දුරුවීම නිසා ප්‍රාණඝාතාදිය නොකළ හැකි තත්ත්වයට පත්වීමකි. මේ තත්ත්වය ධම්මචක්කපවත්වන සූත්‍රයේ දී “චක්ඛුකරණී, ඤාණකරණී, අභිඤ්ඤාය, උපසමාය, සම්බොධාය, නිබ්බානාය සංවත්තති” යනුවෙන් දක්වා ඇත.

“යො ච සම්මාවායාමො යා ච සම්මාසති යො ච සම්මාසමාධි ඉමෙ ධම්මා සමාධික්ඛන්ධෙ සංගහිතා”

යනුවෙන් දැක්වෙන සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන මේ අංග තුන සමාධිස්කන්ධයට අයත් වේ. සමාධිය ඇති වීමට තදනුකූල සිහිය ද තිබිය යුතු ය. එබැවින් සතිය සමාධිස්කන්ධයට අයත් වේ. සති සමාධි දෙකේ ම වැඩීමට වීර්‍ය්‍යය වුවමනා ය. එබැවින් වීර්‍ය්‍ය ද සමාධිස්කන්ධයට ම ඇතුළු වේ.

“යා ච සම්මාදිට්ඨි යො ච සම්මාසංකප්පො ඉමෙ ධම්මා පඤ්ඤාක්ඛන්ධෙ සංගහිතා”

යනුවෙන් චූළ වේදල්ලයෙහි දැක්වෙන පරිදි සම්මාදිට්ඨි, සම්මාසංකප්ප දෙක ප්‍ර‍ඥාස්කන්ධයට අයත් වේ. සම්මාදිට්ඨිය ශුද්ධ වූ ප්‍ර‍ඥාව ය. සම්මා සංකප්ප පෙරටුව හැසිරීම් වශයෙන් ප්‍ර‍ඥා සංඛ්‍යාත සය්‍යග් දෘෂ්ටි මාර්ගාංගයට උපකාර වන්නක් බැවින් එය ප්‍ර‍ඥාස්කන්ධයට ඇතුළු කරනු ලැබේ. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ශීලාදි ස්කන්ධත්‍ර‍යට සංග්‍ර‍හ කොට දක්වන්නේ එය ශීල සමාධි ප්‍ර‍ඥා යන ශාසකින ධර්ම තුන බව දැක්වීම පිණිස ය. ශීල සමාධි ප්‍ර‍ඥා යන තුන වැඩීම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩීම ය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩීම ශීල සමාධි ප්‍ර‍ඥා වැඩීම ය.

ලෝකෝත්තර ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය

ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙ වැදෑරුම් වේ. ලෞකික මාර්ගයෙහි මතු නූපදනා පරිදි කෙලෙස් දුරු කිරීමේ ශක්තියක් නැත. එයට ඇත්තේ තාවකාලික වශයෙන් කෙලෙස් දුරු කිරීමේ බලයක් පමණකි. එය දුබල ය. ලෝකෝත්තර මාර්ගය බලවත් ය. මහානුභාව සම්පන්න ය. වර්තමාන භවයේ දී පමණක් නොව මතු කිසි කලෙක අනාගත භවවලදීවත් නූපදනා සැටියට කෙලෙසුන් දුරු කිරීමේ ශක්තිය ලෝකෝත්තර මාර්ගයට ඇත්තේ ය. යම් කිසිවකු තමා සමාදන් වී සිටින ශීලයෙහි පිහිටා යම්කිසි කර්මස්ථානයක් උගෙන භාවනාවෙහි යෙදීම් වශයෙන් නො නවත්වා බෝධිපාක්ෂික ධර්ම වඩා ගෙන ගියහොත් වර්තමාන භවයේ දී හෝ අනාගත භවයක දී හෝ ඒ තැනැත්තාගේ සන්තානයෙහි සම්‍යග්දෘෂ්ට්‍යාදී මාර්ගාංග ධර්ම ක්‍ර‍මයෙන් මෝරා ගොස් යම් කිසි දිනයක දී ලෝකෝත්තර ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය පහළ වන්නේ ය. ආර්‍ය්‍යයන්ගේ සන්තානයෙහි සතර වරක දී පහළ වන ලෝකෝත්තර මාර්ගයට :-

  1. සෝතාපත්ති මග්ග
  2. සකදාගාමි මග්ග
  3. අනාගාමි මග්ග
  4. අරහත් මග්ග

යන නම් කියනු ලැබේ. යෝගාවචරයකුගේ සන්තානයෙහි ප්‍ර‍ථම වරට උපදනා ලෝකෝත්තර මාර්ගය, සෝතාපත්ති මග්ගය හෙවත් සෝවාන් මාර්ගය ය. හිමාලය ආදී උස් තැන්වල සිට සාගරය බලා ගලා යන්නා වූ ගංගා නදියෙහි ජලධාරාවෝ සෝත (ශ්‍රෝතස්) නම් වෙති. සාගරය බලා ම ගලා යනු මිස නැවත ආපසු හැරී සිටි තැන බලා ගලන ස්වභාවයක් ඒවායේ නැත. සෝතාපත්තිමග්ග නම් වූ ප්‍ර‍ථම ආර්‍ය්‍ය මාර්ගය ද ඇති වූ තැන් පටන් අනුපාදිශේෂ නිර්වාණධාතුව දක්වා නිවනයට අභිමුඛව ගලා යනු මිස නැවත කිසි කලෙක ආපසු නො හැරෙන්නේ ය, නො නවතින්නේ ය.

එහි ආපසු නො හැරීමය යනු සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හාරණය කළ කෙලෙසුන් ඒ සන්තානයෙහි නැවත ඇති වී පුද්ගලයා ආර්‍ය්‍ය භාවයෙන් පිරිහී නැවත පෘථග්ජන භාවයට නො පැමිණීමත්, ඒ මාර්ගයාගේ ආනුභාවයෙන් නිරුද්ධ වූ අනාගත භවෝත්පත්තිය නැවත කිසි කලෙක නො සිදුවීමත් ය. අනුපාදිශේෂ නිර්වාණ ධාතුව දක්වා ගලා යාම ය යන සෝවාන් මාර්ගය උපදවා ගත් ආර්‍ය්‍ය පුද්ගලයන්ගේ සන්තානයෙහි ශ්‍ර‍ද්ධාදි වූ ද, සම්‍යග්දෘෂ්ට්‍යාදි වූ ද ධර්මයන් ඒ මාර්ගයේ ආනුභාවයෙන් අනුක්‍ර‍මයෙන් මෝරා ගොස් නො වරදවා ම ඒ පුද්ගලයා අර්හත්වයට පැමිණ නිවන් දක්නා බව ය. මෙසේ මේ ලෝකෝත්තරමාර්ගය ගංගාදියේ ජලශ්‍රෝතසුන් මෙන් නිර්වාණ නමැති මහා සාගරය දක්වා නො නැවතී ගලා යන බැවින් ඒ මාර්ගයට ද සෝතය යි කියනු ලැබේ. එබැවින් මග්ගසංයුත්තයෙහි :-

“අයමෙව හි සාරිපුත්ත, අරියො අට්ඨංගිකො මග්ගො සොතො, සෙය්‍යථිදං? සම්මාදිට්ඨි සම්මා සංකප්පො සම්මා වාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.”

යනු වදාළ සේක. ශාරිපුත්‍ර‍ය, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ම ශ්‍රෝතසක් ය. එය කවරේ ද? සම්මාදිට්ඨිය ය, සම්මාසංකප්පය, සම්මාවාචාවය, සම්මාකම්මන්තය ය, සම්මා ආජීවය ය, සම්මා වායාමය ය, සම්මාසතිය ය, සම්මාසමාධිය ය යන මොවුහු ය” යනු එහි තේරුමයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය නිවන කරා ම නො නැවතී ගලා යන බව :-

“සෙය්‍යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියො. සෙය්‍යථිදං? ගංගා යමුනා අචිරවති සරභූ මහී, සබ්බා තා සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා, එවමෙව ඛො භික්ඛවෙ! භික්ඛු අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්තො නිබ්බානනින්නො නිබ්බානපොණො නිබ්බානපබ්භාරො”

යනුවෙන් ප්‍ර‍කාශිත ය. ගංගා යමුනා අචිරවතී සරභූ මහී යන මේ මහා ගංගාවන් සාගරයට නැමී සාගරයට ඇල වී සාගරයට බර වී පවතින්නාක් මෙන් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන මහණා ද නිවනට නැමී නිවනට ඇල වී නිවනට බර වී සිටීය” යනු එහි අදහස යි. ලෝකෝත්තර මාර්ගයෙන් ප්‍ර‍හාණය කරන කෙලෙසුන් නැවත නූපදනා බව :-

“සෙය්‍යථාපි භික්ඛවෙ, ඝටො නික්කුජ්ජො වමතෙව උදකං නො පච්චාවමති, එවමෙව ඛො භික්ඛවෙ අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්තො බහුලීකරොන්තො වමතෙව පාපකෙ අකුසලෙ ධම්මෙ, නො පච්චාවමති”

යනුවෙන් ප්‍ර‍කාශිත ය. මහණෙනි යම් සේ මුණින් නැමූ කළය වතුර වමාරා ද වතුර ඇතුළට උරා නො ගනී ද එමෙන් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන තැනැත්තේ, බොහෝ කොට වඩන තැනැත්තේ ලාමක වූ අකුශල ධර්මයන් වමාරා ම ය. නැවත ඇතුළට ගැනීමක් නො කරන්නේ ම ය” යනු එහි තේරුම යි.

ආර්‍ය්‍යමාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පළමු පැමිණීම සෝතාපත්ති නම් වේ. ආර්‍ය්‍යමාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පළමු වරට පැමිණීමෙන් ලබන මාර්ගය සෝතාපත්ති මග්ග නමි. ඒ ශ්‍රෝතසට පැමිණි නැතහොත් ස්වසන්තානයෙහි උපදවා ගත් - ලබා ගත් පුද්ගලයා සෝතාපන්න (සෝවාන්) නම් වේ. පෘථග්ජනයෝ වනාහි ලෞකික මාර්ගාංගයන්ගේ බලයෙන් වරක් ප්‍ර‍හාණය කළ ක්ලේශයන් නැවත ඇති කර ගැනීම් වශයෙන් ද වරක් හළ පාපයන් නැවත කිරීම් වශයෙන් ද ආපසු එති. එබැවින් වරෙක සිල්වත්ව සිටි පෘථග්ජනයෝ නැවත දුශ්ශිල වෙති. වරෙක සමාධිය ලබා සිටි පෘථග්ජනයෝ වරෙක වික්ෂිප්ත සිත් ඇත්තෝ වෙති. පිස්සෝ ද වෙති. සම්‍යග්දෘෂ්ටික ව සිට මිථ්‍යාදෘෂ්ටික වෙති. නුවණැති ව සිට මෝඩ වෙති. ධ්‍යාන ලබා භවාග්‍ර‍යට පැමිණ සිට නැවත දෙව්ලොවට ද මිනිස් ලොවට ද ආපසු එති. තිරිසන් බවට ප්‍රේත බවට නරකට පැමිණීම් වශයෙන් ආපසු එති.

ආර්‍ය්‍යමාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පැමිණි ආර්‍ය්‍ය පුද්ගලයෝ ඒ ඒ මාර්ගයෙන් ප්‍ර‍හාණය කළ ක්ලේශයන් භවාන්තරයෙහි ද නූපදනා බැවින් ඔහු නැවත දුශ්ශිල නො වෙති. වික්ෂිප්ත නො වෙති. මිසදිටු නො වෙති. අපායට නො යති. එය ඔවුන්ගේ ආපසු නො යාම ය. ආර්‍ය්‍යයන්ට ශ්‍ර‍ද්ධාදි ධර්මයෝ ක්‍ර‍මයෙන් වැඩෙති. එබැවින් පිළිවෙළින් මතු මතු මාර්ගඵල වලට ද පැමිණ නිවන් දකිති. භවයෙහි සැරිසරන ආර්‍ය්‍ය පුද්ගලයා ද දෙව්ලොවින් දෙව්ලොවට බඹලොවින් බඹලොවට ඉහළට ම ගොස් අන්තිමේ දී නිවන් පුරට පිවිසෙති. එය ලෝකෝත්තර මාර්ගයා ගේ ආනුභාවය ය.

ශ්‍රෝතස් අට

ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණ මහා සාගරය කරා ගලා යන එක් ශ්‍රෝතසක් සැටියට සාමාන්‍යයෙන් කියන්නේ වී නමුත් විස්තර වශයෙන් කියතහොත් ඒ ආර්‍ය්‍ය මාර්ගය -

  1. සම්මා දිට්ඨි සෝතසය ය,
  2. සම්මා සංකප්ප සෝතසය ය,
  3. සම්මා වාචා සෝතසය ය,
  4. සම්මා කම්මන්ත සෝතසය ය,
  5. සම්මා ආජීව සෝතසය ය,
  6. සම්මා වායාම සෝතසය ය,
  7. සම්මා සති සෝතසය ය,
  8. සම්මා සමාධි සෝතසය ය

යි ශ්‍රෝතස් අටෙකි. පටලයකින් වැසී ඇති ඇසක පටලය බෙහෙතකින් ඉවත් කළ කල්හි ඇස් හිමියාට එතැන් පටන් කැමති කැමති හැටියට කැමති කැමති වේලාවට කැමති කැමති දෙයක් බැලිය හැකි වන්නේ ය. එමෙන් ලෝකෝත්තර සම්‍යග්දෘෂ්ටිය ඇති කර ගෙන ආර්‍ය්‍ය සත්‍යයන් වසන මෝහාන්ධකාරය දුරු කර ගත් ආර්‍ය්‍ය පුද්ගලයාහට එතැන් පටන් කැමති කැමති අවස්ථාවල දී කැමති කැමති සැටියට චතුරාර්‍ය්‍ය සත්‍යය බැලිය හැකි වන්නේ ය. සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂත්‍ර‍ය බැලිය හැකි වන්නේ ය. ආර්‍ය්‍ය පුද්ගලයා කෙරෙහි පිහිටා ඇති ඒ ශක්තිය සම්‍යග්දෘෂ්ටි ශ්‍රෝතස ය. එය අර්හත්වය දක්වා ක්‍ර‍මයෙන් දියුණු වන්නේ ය. අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට පැමිණීමෙන් කෙළවර වන්නේ ය. අර්හත්වය දක්වා වැඩි දියුණුවීමත් අනුපාදිශේෂ පරිනිර්වාණය දක්වා පැවැත්මත් එහි නිර්වාණය කරා ගලා යාම ය.

ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි ආර්‍ය්‍ය පුද්ගලයාට ඇති වූ සම්‍යක්සංකල්ප මාර්ගාංගයේ ශක්තියෙන් ඒ පුද්ගලයා කෙරෙහි කාමයන් කෙරෙන් නික්මීම පිළිබඳ වූ ද, සංසාරයෙන් නික්මීම පිළිබඳ වූ ද, අන්‍ය සත්ත්වයන් සැපවත් කිරීම පිළිබඳ වූ ද, දුකට පත් සත්ත්වයන් දුකින් මිදවීම පිළිබඳ වූ ද කල්පනා, ජාතියෙන් ජාතිය දියුණු වෙමින් නිවනට පැමිණීම දක්වා ඇති වීම, නිවන තෙක් සම්‍යක් සංකල්පශ්‍රෝතස ගලා යාම ය.

ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි ඇති වූ සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන මාර්ගාංගයන් ගේ ශක්තියෙන් ආර්‍ය්‍ය පුද්ගලයාගේ සන්තානයෙහි අර්හත්වයට පැමිණීම දක්වා දුශ්චරිත දුරාජීවයන්ගෙන් වළක්නා ස්වභාවය දියුණු වී යාම සම්‍යක්වචන සම්‍යක්කර්මාන්ත සම්‍යගාජීව ශ්‍රෝතසුන් ගලා යාම ය.

මාර්ගක්ෂණයේ දී පහළ වන ලෝකෝත්තර සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධීහු ද තම තමන් අයත් කෘත්‍ය ඉදිරියටත් වඩ වඩා සිදු කරමින් අර්හත්වය දක්වා ද අනුපාදිශේෂ පරිනිර්වාණය දක්වා ද එසේ ගලා යති.

සෝවාන් පුද්ගලයෝ

සෝවාන් පුද්ගලයාගේ අංග

ප්‍ර‍ථම ලෝකෝත්තර මාර්ගය වූ ධර්මශ්‍රෝතසට ධර්ම ප්‍ර‍වාහයට පැමිණ චතුරාර්‍ය්‍යසත්‍යය දැක සත්කායදෘෂ්ටිය දුරු කර ගත්තා වූ, රතනත්‍ර‍ය විෂයයෙහි සියලු සැක දුරු කර ගත්තා වූ, ප්‍ර‍ථම ආර්‍ය්‍යපුද්ගලයා වූ සෝවාන් පුද්ගලයා අංග සතරකින් යුක්ත වන්නේ ය. ඒ අංග සතර :-

“බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති,

ධම්මේ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති,

සංඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති,

අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති.”

යනුවෙන් සෝතාපත්ති සංයුක්තයෙහි ප්‍ර‍කාශිත ය. සෝවාන් පුද්ගලයා බුදුන් වහන්සේ කෙරෙහි නො සෙල්වෙන නො වෙනස් වන ප්‍ර‍සාදයෙන් යුක්ත වේ. ධර්මය කෙරෙහි නො සෙල්වෙන නො වෙනස් වන ප්‍ර‍සාදයෙන් යුක්ත වේ. සංඝයා කෙරෙහි නො සෙල්වෙන නො වෙනස්වන ප්‍ර‍සාදයෙන් යුක්ත වේ. ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වේ. මේ කරුණු සතර සෝවාන් පුද්ගලයා ගේ අංගයෝ ය.

ආර්‍ය්‍යකාන්ත ශීලය යනු පඤ්චශීලය ය. ආර්‍ය්‍ය පුද්ගලයන්ට පඤ්චදුශ්චරිතය අප්‍රිය ය. පඤ්චශීලය ප්‍රිය ය. එබැවින් ඔවුහු පඤ්චශීලය නො කඩ කෙරෙති. ආර්‍ය්‍යයන්ට ප්‍රිය දෙය වන බැවින් පඤ්චශීලයට ආර්‍ය්‍ය කාන්ත ශීලය යි කියනු ලැබේ. සෝවාන් පුද්ගලයා තුළ පිහිටි පෘථග්ජනයන්ට නැත්තා වූ මේ ගුණාංග සතරට සෝතාපත්තියංගය යි කියනු ලැබේ. සෝවාන් පුද්ගලයකු විය හැකි වීමට හෙවත් සෝවාන් මඟට පැමිණිය හැකි වීමට ඇති කර ගත යුතු ගුණාංග සතරක් ද ඇත්තේ ය. ඒවාට ද සෝතාපත්තියංග යන නම කියනු ලැබේ. ඒ සතර සෝතාපත්ති සංයුත්තයේ මෙසේ දැක්වේ.

“සප්පුරිසසංසෙවො සොතාපත්තියංගං

සද්ධම්මස්සවණං සොතාපත්තියංගං,

යොනිසොමනසිකාරො සොතාපත්තියංගං,

ධම්මානුධම්මපටිපත්ති සොතාපත්තියංගං.”

සත්පුරුෂ සේවනය එක් සෝතාපත්තියංගයෙකි. සද්ධර්ම ශ්‍ර‍වණය එක් සෝතාපත්තියංගයෙකි. යෝනිසොමනස්කාරය එක් සෝතාපත්තියංගයෙකි. ධර්මානු ධර්ම ප්‍ර‍තිපත්තිය එක් සෝතාපත්තියංගයෙකි.

චක්‍ර‍වර්ති රජු හා සෝවාන් පුද්ගලයා

“කිඤ්චාපි භික්ඛවෙ, රාජා චක්කවත්ති චතුන්නං දීපානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙත්වා, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, දෙවානං තාවතිංසානං සහව්‍යතං සො තත්ථ නන්දනවනෙ අච්ඡරාසංඝා පරිවුතො දිබ්බෙහි පඤ්චකාමෙහි සමප්පිතො සමංගිභූතො පරිවාරෙති, සො චතූහි ධම්මෙහි අසමන්නාගතො, අථ ඛො සො අපරිමුත්තොව නිරයා, අපරිමුත්තො තිරච්ඡාන යොනියා, අපරිමුත්තො පෙත්තිවිසයා, අපරීමුත්තො අපායදුග්ගතිවිනිපාතා.

කිඤ්චාපි භික්ඛවෙ අරියසාවකො පිණ්ඩියාලොපෙන යාපෙති, නන්තකානි ධාරෙසි, සො චතූහි ධම්මෙහි සමන්නාගතො, අථ ඛො සො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා, පරිමුත්තො පෙත්තිවිසයා, පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා, -පෙ-”

(සෝතාපත්ති සංයුත්ත)

මෙහි අදහස මෙසේ ය :- චක්‍ර‍වර්ති රජ තෙමේ මෙලොව සතර මහාද්වීපයට අධිපති කම් කොට මරණින් මතු තව්තිසා දෙව්ලොව උපදනේ ය. හේ එහි දෙවඟනන් සමූහයා විසින් පිරිවරන ලදුව නන්දන වනයෙහි පඤ්චකාමයෙන් උසස් ලෙස ඉන්ද්‍රියයන් පිනවන්නේ ය. පඤ්චකාමයෙන් සන්තෝෂ වන්නේ ය. එහෙත් හේ අපායට නො යන ගුණ ධර්ම සතරින් යුක්ත නො වන්නේ ය. එබැවින් හේ නරකයෙන් මිදුණෙක් නො වේ. තිරිසන් බවින් මිදුණෙක් ද නො වේ. ප්‍රේත භාවයෙන් මිදුණෙක් ද නො වේ. ඔහු එහි දෙව් සැප විඳින්නේ මරණින් මතු අපායට යා හැකි ස්වභාවය තිබියදී ම ය.

ආර්‍ය්‍යශ්‍රාවකයා පිඬු සිඟා ජීවත් වන කෙනෙක් වූයේ ද, වැරහැලි හැඳ සිටින කෙනෙක් වූයේ ද, හේ මතු අපායෙහි නූපදනා ගුණාංග සතරින් යුක්ත ය. එබැවින් ආර්‍ය්‍යශ්‍රාවකයා නරකයෙන් මිදුණේ ම වේ. තිරිසන් යෝනියෙන් මිදුණේ ම වේ. ප්‍රේත භාවයෙන් මිදුණේ ම වේ. මෙසේ සතර අපායයෙන් මිදුණු කෙනෙක් ව විසීම සෝවාන් පුද්ගලයාගේ උසස් බව ය.

සෝවාන් පුද්ගලයාගේ ප්‍රභේද

  1. සත්තක්ඛත්තු පරම සෝතාපන්නයා ය,
  2. කෝලංකෝල සෝතාපන්නයා ය,
  3. ඒක බීජි සෝතාපන්නයා ය,

යි සෝවාන් පුද්ගලයෝ තිදෙනෙකි.

“කතමො ච පුග්ගලො සත්තක්ඛත්තුපරමො ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො සො සත්තක්ඛත්තුං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරෝති, අයං වුච්චති පුග්ගලො සත්තක්ඛත්තු පරමො”

(පුග්ගලපඤ්ඤත්ති පකරණ)

කවර පුද්ගලයෙක් සත්තක්ඛත්තුපරම නම් වේ ද යත්? මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් සක්කායදිට්ඨි, විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන සංයෝජන තුන ක්ෂය කිරීමෙන් ආර්‍ය්‍ය මාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පැමිණියේ වේ ද, මතු අපායෙහි උපදනා ස්වභාවය නැත්තේ වේ ද, නිවනට පැමිණීමෙහි නියත වේ ද, මතු මාර්ගත්‍රයෙන් ඒකාන්තයෙන් චතුස්සත්‍යාවබෝධය කරන්නේ වේ ද, ඒ පුද්ගල තෙමේ දෙව්ලොව ද මිනිස්ලොව ද සත් වරක් ඉපදීම් වශයෙන් ඔබ මොබ ගොස් දුක් කෙළවර කෙරේ. මේ පුද්ගලයා සත්තක්ඛත්තු පරමය යි කියනු ලැබේ ය යනු එහි තේරුම යි.

සෝවාන් පුද්ගලයන් අතර දෙව්ලොව ම පිළිවෙළින් සත් වර ඉපිද සත් වන ජාතියේ දී රහත්ව පිරිනිවන් පාන්නෝ ද වෙති. මිනිස් ලොව ම පිළිවෙළින් සත් වර ඉපිද සත් වන ජාතියේ දී රහත් ව පිරිනිවන් පාන්නාහු ද වෙති. දිව්‍යලෝක මනුෂ්‍යලෝක දෙක්හි කලවමට සත්වර ඉපිද සත්වන ජාතියෙහි රහත් වන්නාහු ද වෙති. ඉහත දැක්වූ පාඨයෙන් ගෙන ඇත්තේ දිව්‍ය මනුෂ්‍ය ලෝක දෙක්හි මිශ්‍ර‍ක වශයෙන් ඉපිද සත්වන ජාතියේ රහත් වන තැනැත්තාය යි පුග්ගලපඤ්ඤත්ති අටුවාවෙහි කියා තිබේ. “දෙවෙ ච මනුස්සෙ ච සත්තක්ඛත්තුං” යන්නෙහි අදහස දිව්‍යලෝකයෙහි හෝ මනුෂ්‍යලෝකයෙහි හෝ ඒ දෙක්හි කලවමට ඉපදීමය කියා ගැනීමත් නිවැරදියයි සිතමි. ඇතැම් ආචාර්‍ය්‍යවරයෝ සෝවාන් පුද්ගලයාට දෙව් ලොව ඕපපාතික ප්‍ර‍තිසන්ධි සතක් ද මිනිස් ලොව ගර්භප්‍ර‍ති සන්ධි සතක් දැ යි ප්‍ර‍තිසන්ධි තුදුසක් ඇත්තේ ය යි ගනිති. සම්මෝහවිනෝදනි අටුවාවෙහි -

“සත්තමෙ භවෙ සබ්බාකාරෙන පමාදවිහාරිනො’පි විපස්සනාඤාණං පරිපාකං ගච්ඡති. අප්පමත්තකෙ’ පි ආරම්මණෙ නිබ්බින්දිත්වා නිබ්බුතිං පාපුණාති. සචේහිස්ස සත්තමෙ භවෙ නිද්දං වා ඔක්කමන්තස්ස පරම්මුඛං වා ගච්ඡන්තස්ස පච්ඡතො ඨත්වා තිඛිණෙන අසිනා කොචිදෙව සීසං පාතෙය්‍ය, උදකෙ ඔසාදෙත්වා මාරෙය්‍ය, අසනී වා පනස්ස සීසෙ පතෙය්‍ය, එවරූපෙ’පි කාලෙ සප්පටිසන්ධිකා කාලකිරියා නාම න හොති, අරහත්තං පත්වාව පරිනිබ්බාති.”

යි අටවන වරක් නූපදීම තරයේ ම කියා තිබේ. සෝවාන් පුද්ගලයා සත් වරට වඩා නූපදින්නේ කාම ලෝකයෙහි ය රූපාරූප ලෝකවල වනාහි සත්වරට වඩා ද උපදින්නේ ය. කාමලෝකයෙහි සත්වරට වඩා නූපදීම සෝවාන් මාර්ගයාගේ ආනුභාවයෙන් සිදු වන්නකි. රූපාරූප ලෝකවල වඩා ඉපදීම ධ්‍යානානුභාවයෙන් සිදු වන්නකි. සෝවාන් පුද්ගලයන් අතර සංසාර වෘත්තියට වඩා ඇලුම් කරන පුද්ගලයෝ ද වෙති. ඔවුහු දිව්‍යලෝකයෙන් දිව්‍යලෝකයට ඉහළට ඉපද ගොස් ධ්‍යාන උපදවා බ්‍ර‍හ්මලෝකයට පැමිණ එහි ද පිළිවෙලින් ඉහළ ඉහළ ලෝකවල උපදිමින් අකනිට්ඨය දක්වා ගොස් එහි දී පිරිනිවන් පාන්නාහ.

අනේපිඬු මහා සිටුහුය, විශාඛා මහා උපාසිකාවය, චූලරථ, මහාරථ දිව්‍ය පුත්‍රයෝ ය. අනේකවර්ණ දේව පුත්‍ර‍යා ය, සක්දෙව් රජය, නාගදත්ත දේව පුත්‍ර‍යාය යනාදීහු පිළිවෙලින් දිව්‍යලෝක බ්‍ර‍හ්මලෝකවල ඉපද ගොස් අකනිට්ඨයේ පිරිනිවන් පාන්නාහ යි පුද්ගලපඤ්ඤත්ති අටුවාවෙහි කියා තිබේ. සෝවාන් පුද්ගලයාගේ භවයෙහි සත් වරකට වඩා නූපදීම දක්වා ඇත්තේ සෝවාන් මාර්ගයාගේ ශක්තිය දැක්වීම් වශයෙනි. සෝවාන් පුද්ගලයාට ධ්‍යාන උපදවා ගත නො හැකි වී නම් හේ සත් ජාතියකට වජා නූපදනේ ය.

කතමො ච පුග්ගලො කොලංකොලො? ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති, අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො, සො ද්වේ වා තීණි වා කුලානි සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති අයං වුච්චති පුග්ගලො කොලංකොලො.”

කෝලංකොල පුද්ගලයා කවරේ ද? මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් සත්කායදෘෂ්ට්‍යාදි සංයෝජනත්‍ර‍ය ක්ෂය කිරීමෙන් ආර්‍ය්‍යමාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පැමිණියේ වේ ද? අපායයට නො යන ස්වභාවය ඇත්තේ වේ ද, නිවනට පැමිණීමෙහි නියත වේ ද, මතු ඒකාන්තයෙන් සම්බෝධියට පැමිණෙන්නේ වේ ද, ඒ පුද්ගලයා භව දෙකක් හෝ තුනක් කාමලෝකයෙහි සැරිසරා දුක් කෙළවර කරන්නේ ය. ඒ පුද්ගලයා කෝලංකෝලය යි කියනු ලැබේ ය” යනු එහි තේරුම යි. මෙහි භව දෙක තුනකැ යි සාමාන්‍යයෙන් දැක්වෙතත් සෝවාන් වීමෙන් තුන් වන භවයේ පටන් සවන භවය දක්වා ඇති භව වලදී රහත් වන්නෝ කෝලංකෝල පුද්ගලයෝ ය යි ගත යුත්තාහු ය.

“කතමො ච පුග්ගලො එකබීජි? ඉධෙකච්චෝ පුග්ගලෝ තිණ්ණං සංයෝජනානං පරික්ඛයා සොතාපන්නො හොති. අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො, සො එකංයෙව මානුසකං භවං නිබ්බත්තෙත්වා දුක්ඛස්සන්තං කරොති, අයං වුච්චති පුග්ගලො එකබීජි.”

ඒකබීජි පුද්ගලයා කවරේ ද යත්? මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් සංයෝජනත්‍ර‍ය ප්‍ර‍හාණය කිරීමෙන් ආර්‍ය්‍ය මාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පැමිණියේ වේ ද? අපායයෙහි නූපදනා ස්වභාවය ඇත්තේ නියත වේ ද? මතු මාර්ගත්‍ර‍යට ඒකාන්තයෙන් පැමිණෙන්නේ වේ ද, හෙතෙමේ එක් මනුෂ්‍ය භවයක පමණක් උපදවා දුක් කෙළවර කෙරේ. මේ පුද්ගලයා ඒකබීජි පුද්ගලයා ය යි කියනු ලැබේ” ය යනු එහි තේරුම ය.

පුග්ගලපඤ්ඤත්තියෙහි සත්තක්ඛත්තුපරම, කෝලංකෝල පුද්ගලයන් දක්වා ඇත්තේ දිව්‍ය මනුෂ්‍ය උත්පත්තීන්ගේ වශයෙනි. ඒකබීජි පුද්ගලයා දැක්වෙන්නේ මිනිස්ලොව එක් වරක් ඉපදීම් වශයෙනි. සත්තක්ඛත්තු පරමය, කෝලංකෝලය, ඒකබීජිය යන සෝවාන් පුද්ගලයන් තිදෙනා සතරක් වූ ප්‍ර‍තිපදාවන්ගේ වශයෙන් දොළොස් දෙනේක වෙති. ඒ දොළොස් දෙනා ශ්‍රද්ධාධුර ප්‍ර‍ඥාධුර දෙකින් වැඩි කළ කල්හි සූවිසුදෙනෙක් වෙති. සෝවාන් පුද්ගලයෝ සූවිසි දෙනෙකි.

සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හාණය වන ක්ලේශයෝ

සෝවාන් මාර්ගය ඇති වූ කල්හි එහි ආනුභාවයෙන් සත්කායදෘෂ්ටිය ද, දෙ සැට වැදෑරුම් මිථ්‍යා දෘෂ්ටිය ද සොළොස් වැදෑරුම් විචිකිත්සාව[2] ද ප්‍ර‍හාණය වේ. දෘෂ්ටි විචිකිත්සා ප්‍ර‍හාණය වන කල්හි ඒවා හා එක්ව උපදනා වූ දෘෂ්ටිසම්ප්‍ර‍යුක්ත සිත් සතරෙහි ද විචිකිත්සා සහගත සිතෙහි ද ඒ සිත් පස හා සම්ප්‍ර‍යුක්ත සකල චෛතසිකයන්ගේ ද ප්‍ර‍හාණය සිදුවේ. දෘෂ්ටි විප්‍ර‍යුත්ත අකුසල් සිත් සතර ය. ද්වේෂමූල සිත් දෙකය යන මොවුහු ද තුනී කිරීම් වශයෙන් සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේත. තුනී කිරීම් වශයෙන් ප්‍ර‍හාණය යනු ඒ අකුශල ධර්මවල අපායෙහි ඉපදීමට හේතු වන තරමට ඖදාරික පරිදි ඇති වන කොටස ප්‍ර‍හාණය කිරීම ය.

දෘෂ්ටි විචිකිත්සාවන්ගෙන් අන්‍ය ක්ලේශයන් සෝවාන් පුද්ගලයාගේ සන්තානයෙහි ඇති වෙනත් පෘථග්ජන සන්තානයන්හි මෙන් නිතර ඇති නො වේ. කලාතුරකින් ම ඇති වේ. කලාතුරකින් ඇති වීමෙහි ද පෘථග්ජන සන්තානයන්හි මෙන් රෞද්‍ර‍ ව ඇති නො වේ. එබැවින් සෝවාන් පුද්ගලයෝ රාගය ඇති වුව ද පරස්ත්‍රීන් සේවනාදි නොමනා වැඩ නොකරති. ලෝභය ඇති වුව ද සොරකම් කිරීම් ආදිය නොකරති. ද්වේශය ඇති වුව ද සතුන් මැරීම් මැරවීම් ආදිය නො කෙරෙති. තුනී කිරීම් වශයෙන් ප්‍ර‍හාණය යි කියනුයේ කෙලෙසුන් ගේ ඒ ඖදාරික කොටස් ප්‍ර‍හාණය කිරීම ය.

සකෘදාගාමි පුද්ගලයෝ

සෝවාන් පුද්ගලයා මතු මාර්ගයට පැමිණෙනු සඳහා විදර්ශනා කරන කල්හි සෝවාන් වූ ජාතියේදී හෝ පසු ජාතියකදී හෝ සෝවාන් මාර්ගයට වඩා දියුණු තියුණු වූ ආනුභාව සම්පන්න ව නැවතත් ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගය ඇති වේ. එය සකෘදාගාමි මාර්ගය ය. එයින් තවත් කලේශයෝ ප්‍ර‍හීන වෙති. සකෘදාගාමි යන්නෙහි තේරුම ඉපදීම් වශයෙන් මේ මිනිස් ලොවට හෝ කාමලෝකයට හෝ එක් වරක් පමණක් පැමිණෙන ස්වභාවය ඇති පුද්ගලයා යනු යි. සකෘදාගාමි පුද්ගලයා මිනිස් ලොවට හෝ කාම ලෝකයට හෝ එක් වරක් පැමිණියේ හෝ වේවා නො පැමිණියෝ හෝ වේවා එසේ පැමිණිය හැකි ස්වභාවය ඇති බැවින් ඒ පුද්ගලයාට ඒ නම කියනු ලැබේ. එක් වරකුදු මේ ලෝකයට නො පැමිණෙන සකෘදාගාමීහු බොහෝ ය. පුග්ගලපඤ්ඤත්ති ප්‍ර‍කරණයෙහි සකෘදාගාමි පුද්ගලයා දැක්වෙන්නේ මෙසේ ය.

“කතමො ච පුග්ගලො සකදාගාමි? ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොස මොහානං තනුත්තා සකදාගාමි හොති සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති, අයං වුච්චති පුග්ගලො සකදාගාමි.”

“සකදාගාමි පුද්ගලයා කවරේ ද? මේ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සංයෝජන තුන ක්ෂය වීමෙන් රාගද්වේෂ මෝහයන් තුනී වීමෙන් සකදාගාමි නම් වේ ද, එක් වරක් පමණක් මේ ලෝකයට ඉපදීම් වශයෙන් අවුත් දුක් කෙළවර කරන්නේ ද, මේ පුද්ගලයා සකදාගාමිය යි කියනු ලැබේ ය” යනු එහි තේරුමයි.

මේ මිනිස් ලොව ම සකෘදාගාමි ඵලයට පැමිණ මෙහි ම පිරිනිවන් පානා “ඉධ පත්වා ඉධ පරිනිබ්බායි” නම් වූ එක් පුද්ගලයෙකි. දිව්‍යලෝකයෙහි සකෘදාගාමි ඵලයට පැමිණ එහි ම පිරිනිවන් පානා “තත්ත පත්වා තත්ථ පරිනිබ්බායි” නම් වූ එක් පුද්ගලයෙකි. මේ ලෝකයෙහි සකෘදාගාමි ඵලයට පැමිණ දෙව් ලොව ඉපිද එහි පිරිනිවන් පානා “ඉධ පත්වා තත්ථ පරිනිබ්බායි” නම් වූ එක් පුද්ගලයෙකි. දිව්‍යලෝකයෙහි සකෘදාගාමි ඵලයට පැමිණ මෙහි ඉපද මෙහි ම පිරිනිවන් පාන්නා වූ “තත්ථ පත්වා ඉධ පරිනිබ්බායි” නම් වූ එක් පුද්ගලයෙකි. මෙහි සකෘදාගාමි ඵලයට පැමිණ දෙව්ලොව ඉපිද එයින් ව්‍යුත ව මිනිස් ලොව ඉපිද මෙහි පිරිනිවන් පානා “ඉධ පත්වා තත්ථ නිබ්බත්තිත්වා ඉධ පරිනිබ්බායි” නම් වූ එක් පුද්ගලයෙකි. මෙසේ සකෘදාගාමි පුද්ගලයෝ පස් දෙනෙක් වෙති. මේ පස් දෙනාගෙන් එක් වරක් ඉපදීම් වශයෙන් මිනිස් ලොවට පැමිණෙන්නේ පස්වන පුද්ගලයා පමණෙකි. සෙස්සෝ දෙව්ලොව ඉපද නැවත මිනිස් ලොවට එන්නාහු නො වෙති. එහෙත් නැවත මිනිස් ලොවට ඒමට හේතු වන සංයෝජනයන් අප්‍ර‍හීණ බැවින් සැම දෙනාට ම සකෘදාගාමි යන නම කියනු ලැබේ.

සකෘදාගාමි මාර්ගයෙන් ප්‍ර‍හාණය වන ක්ලේශයෝ

සකෘදාගාමි මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය වන ක්ලේශයක් නැත්තේ ය. එයින් ලෝභ ද්වේෂ මෝහයන් තුනී කිරීම් වශයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. සෝවාන් මාර්ගයෙන් ද ලෝභ ද්වේෂ මෝහයෝ තුනී කිරීම් වශයෙන් ප්‍ර‍හාණය කරනු ලැබෙත්. එයින් කරන තුනී කිරීම නම් අපායෝත්පත්තියට හේතු වන තරමේ ඒවා නැති කිරීම ය. සෝවාන් පුද්ගලයන්ට නිරවද්‍ය ස්ථානයන්හි රාගය බලවත් ව උපදී. එබැවින් ඔවුහු දූ දරුවෝ ද ලබති. සකෘදාගාමීන්ට ඒවා ඒ තරමට බලවත් ව ඇති නො වේ. සකෘදාගාමීන් මෛථුන සේවනය නො කරතැයි පරමත්ථදීපනී නම් වූ අභිධර්මාර්ථ සංග්‍ර‍හ ටීකාවෙහි කියා තිබේ. මහාසීව ස්ථවිරයන් වහන්සේ සකෘදාගාමීන් ගේ මෛථුන සේවනය ඇති බව පිළිගන්නා බවත් මහා අටුවාවෙහි එය ප්‍ර‍තික්ෂේප කර ඇති බවත් අබ්‍ර‍හ්මචාරී ඉසිදත්ත නම් බ්‍රාහ්මණයාගේ සකෘදාගාමිත්වය බුදුරජාණන් වහන්සේ වදාරන ලදුයේ ඔහු මරණාසන්නයේ දී අනාගාමි වූ නිසා යයි ද පරමත්ථදීපනියේ කියා තිබේ. මෛථුන සේවනය කිරීම හෝ නො කිරීම කෙසේ වුවත් සෝවාන් පුද්ගලයාට ඇති වෙනවාට වඩා සූක්ෂ්ම වශයෙන් ම සකෘදාගාමි පුද්ගලයාට රාග ද්වේෂ මෝහයන් ඇති වන බව පිළිගත යුතු ය.

අනාගාමී පුද්ගලයෝ

සකෘදාගාමි පුද්ගලයා විදර්ශනා වඩන කල්හි ඒ භවයෙහි හෝ අන් භවයකදී හෝ සම්‍යග්දෘෂ්ට්‍යාදි ධර්මයන් තවත් දියුණු තියුණු වී බලයෙන් යුක්ත වී ආනුභාව සම්පන්න වී තුන් වන වරට ද ඔහුගේ සන්තානයෙහි ලෝකෝත්තර ආර්‍ය්‍ය මාර්ගය පහළ වේ. එයට අනාගාමි මාර්ගය යි කියනු ලැබේ. පුග්ගලපඤ්ඤත්තියෙහි අනාගාමි පුද්ගලයා දැක්වෙන්නේ මෙසේ ය. :-

“කතමො ච පුග්ගලො අනාගාමි? ඉධෙකච්චො පුග්ගලො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායි. අයං වුච්චති පුග්ගලො අනාගාමි.”

අනාගාමි පුද්ගලයා කවරේ ද? මේ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක්, පස් දෙනෙක් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් කාම ලෝකයට නැවත නො පැමිණ බ්‍ර‍හ්මලෝකයෙහි ම පිරිනිවන් පාන්නේ වේ. මේ පුද්ගලයා අනාගාමිය යි කියනු ලැබේ.” ය යනු එහි තේරුම යි.

සංයෝජන දසය අතුරෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද යන සංයෝජන පස ඕරම්භාගිය සංයෝජනයෝ ය. ඕරම්භාගිය සංයෝජන යන්නෙහි තේරුම, කාම භවයෙහි සත්ත්වයා බැඳී සිටින බන්ධනයෝ ය යනු යි. සත්කාය දෘෂ්ට්‍යාදි සංයෝජන පස අප්‍ර‍හීණ තැනැත්තා භවාග්‍රයෙහි සිටියේ ද කාම ලෝකයෙහි බැඳී සිටින්නෙකි. එබැවින් හේ නැවත ඉපදීම් වශයෙන් කාමලෝකයට එන ස්වභාවය ඇති පුද්ගලයෙකි. අනාගාමී පුද්ගලයාට ඕරම්භාගිය සංයෝජන නැති බැවින් කාම ලෝකයට හෝ ඉපදීම් වශයෙන් නො එන්නේ ය. කාම ලෝකයෙහි අනාගාමී වූ තැනැත්තා ඒ භවයේදී ම රහත් නො වී නම් ධ්‍යාන උපදවා බ්‍ර‍හ්මලෝකයෙහි උපදනේ ය. එහි ම රහත්ව පිරිනිවන් පානු මිස කිසි කලෙක කාම ලෝකයෙහි නූපදනේ ය.

තුන්වන ආර්‍ය්‍ය පුද්ගලයාට අනාගාමිය යි කියනුයේ නැවත ඉපදීම් වශයෙන් කාම ලෝකයට නො එන බැවිනි. රූපරාගය, අරූපරාගය, මානය උද්ධච්චය, අවිජ්ජාවය යන සංයෝජනයන්ට උඬම්භාගිය සංයෝජනයෝ ය යි කියනු ලැබේ. ඒවා රූපාරූප ලෝකයන්හි සත්ත්වයා උපදවන බන්ධනයෝ ය. ඒ බන්ධන අප්‍ර‍හීණ බැවින් අනාගාමි පුද්ගලයා එහි උපදනේ ය. කලින් රූපාරූප ධ්‍යාන ලබා නැති අනාගාමි පුද්ගලයකු වුව ද රහත් නො වී මිය ගියහොත් මාර්ගානුභාවයෙන් මරණාසන්නයේ දී යටත් පිරිසෙයින් ප්‍ර‍ථමධ්‍යානය හෝ ලබා හේ බඹලොව උපදනේ ය. ඕරම්භාගිය සංයෝජනයන් ප්‍ර‍හාණය කළ පුද්ගලයා කිසි කලෙක කාමලෝකයෙහි නූපදනේ ය.

  1. අන්තරා පරිනිබ්බායි
  2. උපහච්ච පරිනිබ්බායි
  3. අසංඛාර පරිනිබ්බායි
  4. සසංඛාර පරිනිබ්බායි
  5. උඬංසෝත අකනිට්ඨගාමි

මෙසේ අනාගාමි පුද්ගලයෝ පස් දෙනෙක් වෙති. ක්ලේශ පරිනිර්වාණය ය, ස්කන්ධ පරිනිර්වාණයය යි පිරිනිවීම් දෙකකි. එයින් අනාගාමි පුද්ගල භේදය දැක්වෙන්නේ ක්ලේශ පරිනිර්වාණයෙනි. ක්ලේශ පරිනිර්වාණය යනු අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙසුන් නැසීම ය.

යම්කිසි සුද්ධාවාස භූමියක උපන් ඇසිල්ලෙහි ම හෝ ආයුෂයාගේ මධ්‍යයෙහි හෝ ඒ අතරෙහි හෝ රහත් වන්නා වූ අනාගාමි පුද්ගලයා අන්තරා පරිනිබ්බායි නම් වේ. අන්තරා පරිනිබ්බායීහු තිදෙනෙකි. උපන් ඇසිල්ලේ ම රහත්වන තැනැත්තේ ය, ආයුෂයාගේ මධ්‍යයෙහි රහත් වන තැනැත්තේ ය, ඒ අතර රහත් වන තැනැත්තේ ය යන මොවුහු තිදෙන අන්තරා පරිනිබ්බායි අනාගාමීහු ය.

යම්කිසි සුද්ධාවාස භූමියක ඉපද ප්‍ර‍මාදව සිට ආයුෂයාගේ මධ්‍යය ඉක්මවා මරණාසන්න කාලයේ ම හෝ රහත්වන අනාගාමි පුද්ගලයා උපහච්ච පරිනිබ්බායී නමි. අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සීය, අකනිට්ඨය යි අනාගාමි පුද්ගලයන් ම උපදනා බ්‍ර‍හ්මලෝක පසක් ඇත්තේ ය. අවිහයෙහි ආයුෂ කල්ප දහසෙකි. එයින් කල්ප පන්සියයක් ඉක්මවා සවෙනි කල්ප සියයේ දී හෝ සත්වන කල්ප සියයේ දී හෝ අටවන කල්ප සියයේ දී හෝ නව වන කල්ප සියයේ දී හෝ දසවන කල්ප සියයේ දී හේ රහත් වන්නෝ උපහච්ච පරිනිබ්බායීහු ය.

කවර අවස්ථාවකදී හෝ රහත් වීම සඳහා බොහෝ කල් වෙහෙසෙන්නට නො වී දුක් විඳින්නට නො වී මඳ වෙහෙසකින් අල්ප ව්‍යායාමයකින් රහත් වන තැනැත්තා අසංඛාර පරිනිබ්බායි නම් වේ. බොහෝ වෙහෙසී බොහෝ දුක් ගෙන රහත්වන තැනැත්තා සසංඛාර පරිනිබ්බායි නම් වේ.

උඩ බලා යන තෘෂ්ණා ශ්‍රෝතස ඇති, ඉපදීම් වශයෙන් භව පිළිවෙලින් අකනිට්ඨයට යන්නා වූ අනාගාමී පුද්ගලයා උද්ධංසෝත අකනිට්ඨගාමි නමි. ඒ පුද්ගලයා අවිහයෙහි ඉපද එහිදී අර්හත්වයට පැමිණිය නො හැකි ව එයින් ච්‍යුත ව අතප්පයෙහි උපදී. එහිදී කල්ප දෙදහසක් ගත කොට ද රහත් විය නො හැකි ව සුදස්සනභූමියෙහි උපදී. එහි කල්ප සාරදහසක් ආයු ගෙවා ද රහත් විය නොහී සුදස්සියෙහි උපදී. එහි කල්ප අටදහසක් ආයු ගෙවා ද රහත් විය නොහී අකනිට්ඨයෙහි ඉපද එහි දී රහත් ව පිරිනිවන් පාන්නේ ය. මෙසේ සාමාන්‍යයෙන් පස්දෙනෙක් වන අනාගාමී පුද්ගලයෝ තවදුරටත් විභාග කොට ගන්නා කල්හි අටසාළිස් දෙනෙක් වෙති. අනාගාමීන් පිළිබඳ දීර්ඝ විස්තරයක් පුග්ගලපඤ්ඤත්ති අටුවාවෙහි ඇත්තේ ය. වැඩි විස්තර දනු කැමැත්තෝ එය බලත්වා.

අනාගාමී මාර්ගයෙන් ප්‍ර‍හාණය වන ක්ලේශයෝ

ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හීණ වන්නේ අපායෝත්පත්තියට හේතු වන ඖදාරික කොටස ය. සකෘදාගාමි මාර්ගයෙන් ප්‍ර‍හාණය වන්නේ එයට වඩා මඳක් සියුම් කොටස ය. කාමරාග වශයෙන් පවත්නා වූ ලෝභය හා ද්වේෂය අනාගාමි මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය වේ. මෝහය ද එයින් තවත් තුනී වේ. චිත්ත චෛතසිකයන්ගේ වශයෙන් කියතහොත්, කාමරාග වශයෙන් උපදනා වූ දිට්ඨිවිප්පයුක්ත සිත් සතර හා ද්වේෂ මූල දෙසිත ද, ඒවා හා උපදනා චෛතසිකයෝ ද අනාගාමි මාර්ගයෙන් ප්‍ර‍හීණ වෙති.

අර්හත් පුද්ගලයෝ

අනාගාමි පුද්ගලයා අර්හත්වය පිණිස විදර්ශනා කර ගෙන යාමේ දී ඒ සන්තානයෙහි සම්‍යග්දෘෂ්ට්‍යාදි මාර්ගාංග වැඩී සකල ක්ලේශයන් ම නැසිය හැකි බලයෙන් යුක්ත ව යම් කිසි අවස්ථාවක ලෝකෝත්තරත්වයෙන් මාර්ගාංගයෝ පහළ වෙති. ආර්‍ය්‍ය පුද්ගලයා කෙරෙහි සතර වන වරට පහළ වන්නා වූ මහානුභාවසම්පන්න වූ ඒ මාර්ගයට අර්හත් මාර්ගය යි කියනු ලැබේ. අර්හත් මාර්ගයට පැමිණි පුද්ගලයාට රහතන් වහන්සේ යයි කියනු ලැබේ.

“යස්ස පුග්ගලස්ස රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා අනවසෙසා පහීණා අයං වුච්චති පුග්ගලො අරහා.”

යනුවෙන් පුග්ගලපඤ්ඤත්තියෙහි අර්හත් පුද්ගලයා වදාරා තිබේ. “යම් පුද්ගලයකු හට රූපරාගය ය, අරූප රාගය ය, මානය ය, උද්ධච්චය ය, අවිජ්ජාවය ය යන මේවා නිරවශේෂයෙන් ප්‍ර‍හීණ ද ඒ පුද්ගලයා අර්හත් ය යි කියනු ලැබේය” යනු එහි තේරුම ය. ලෝකෝත්තර අර්හත් මාර්ගය ඇති වීම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩීමේ අවසානය ය. බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ අවසානය ද එය ම ය.

අර්හත්වයට පැමිණි පුද්ගලයාට ඉන් පසු නිවන සඳහා කළ යුත්තක් ද නැත්තේ ය. එබැවින් රහතුන්ට “කතකිච්ච” ය යි කියනු ලැබේ. සුඤ්ඤත විමොක්ඛය, අනිමිත්ත විමොක්ඛය, අප්පණිහිත විමොක්ඛය යන විමෝක්ෂත්‍ර‍යාගේ වශයෙන් අර්හත් පුද්ගලයෝ තිදෙනෙක් වෙති. නැවත එක් එක් පුද්ගලයකු ප්‍ර‍තිපදා භේදයෙන් සතරදෙනා බැගින් වන බැවින් අර්හත් පුද්ගලයෝ දොළොස් දෙනෙකි.

සෝවාන් පුද්ගලයෝ දොළොස් දෙනය, සකෘදාගාමි පුද්ගලයෝ සූවිසි දෙනය, අනාගාමි පුද්ගලයෝ අටසාළිස් දෙන ය, අර්හත් පුද්ගලයෝ දොළොස් දෙන ය යි ආර්‍ය්‍ය පුද්ගලයන් අනූසය දෙනකුන් පුග්ගල පඤ්ඤත්ති අටුවාවෙහි දක්වා ඇත. සූත්‍ර‍ නිපාත අටුවාවෙහි අන් ක්‍ර‍මයකින් ආර්‍ය්‍ය පුද්ගලයන් එකසිය අටදෙනකු දක්වා ඇත්තේ ය.

අර්හත් මාර්ගයෙන් ප්‍ර‍හාණය වන ක්ලේශයෝ

අනාගාමි මාර්ගයෙන් ප්‍ර‍හීණ නොවී අනාගාමි පුද්ගලයා ගේ සන්තානයෙහි ශේෂව පැවති රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන උද්දම්භාගිය සංයෝජනයෝ අර්හත් මාර්ගයේන ප්‍ර‍හීණ වෙති. තවත් ක්‍ර‍මයකින් කියතහොත් රූප රාගාදි වශයෙන් උපදනා දිට්ඨිගත විප්පයුත්ත සිත් සතර ය, උද්ධච්ච සහගත සිත ය, ඒ සිත් පස හා සම්ප්‍ර‍යුක්ත චෛතසිකයෝ ය යන මොවුහු අර්හත් මාර්ගයෙන් ප්‍ර‍හීණ වෙති.

මෙතෙකින් මාර්ගාංග විස්තරය සමාප්ත ය.

සමාප්තිය

ශ්‍රෝතාපත්‍යාදි ලෝකෝත්තර මාර්ගයෙන් පහළ වන කල්හි මාර්ගාංග අට පමණක් නොව බෝධිපාක්ෂික ධර්ම සත්තිස ම ලෝකෝත්තරත්වයෙන් පහළවේ.

චුද්දසේ ‘ව අසම්භින්නා - හොන්තෙ තෙ බෝධිපක්ඛියා,

කොට්ඨාසතො සත්තවිධා - සත්තතිංසප්පභෙදතො.

යනුවෙන් දැක්වෙන පරිදි අසම්භින්න වශයෙන් ඒ බෝධිපාක්ෂික ධර්මයෝ තුදුස් දෙනෙක් වෙති. කොට්ඨාස වශයෙන් සප්තවිධ වෙති. ප්‍රභේද වශයෙන් සත්තිස් දෙනෙක් වෙති.

අසම්භින්න වශයෙන් බෝධිපාක්ෂික ධර්ම තුදුස ය යනු ස්මෘති වීර්‍ය්‍ය ඡන්ද චිත්ත ප්‍ර‍ඥා ශ්‍ර‍ද්ධා සමාධි ප්‍රීති ප්‍ර‍්‍ර‍්‍ර‍ශ්‍ර‍බ්දි විතර්ක උපෙක්ඛා යන මොවුන් හා විරතිචෛතසික තුනය.

කොට්ඨාස සතය යනු සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග, මග්ගංග යන ධර්ම කොටස් සත ය.

ප්‍රභේද වශයෙන් සත්තිසය යනු සතිපට්ඨාන සතරය, සම්මප්ධාන සතරය, ඉද්ධිපාද සතරය, ඉන්ද්‍රිය පසය, බල පසය, බොජ්ඣංග සතය, මග්ගංග අටය යන මේ සත්තිස ය.

සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර එක් එක් තැනක පමණක් එන ධර්මයෝ නව දෙනෙකි. ඔවුහු නම් ඡන්දිද්ධිපාදය ය, චිත්තිද්ධිපාදය ය, පීතිසම්බොජ්ඣංගය ය, පස්සද්ධිසම්බොජ්ඣංගය ය, උපෙක්ඛාසම්බොජ්ඣංගය ය, සම්මාසංකප්පය ය, සම්මාවාචාය, සම්මා කම්මන්තය, සම්මාආජීවය ය යන මොවුහු ය.

එක් ධර්මයක් වූ වීර්‍ය්‍යය ස්ථාන නවයක එන්නේ ය. සතිය ස්ථාන අටක එන්නේ ය. සමාධිය සතර තැනක එන්නේ ය. ප්‍ර‍ඥාව පස් තැනක එන්නේ ය. ශ්‍ර‍ද්ධාව දෙතැනක එන්නේ ය.

මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිර පාදයන් වහන්සේ විසින් සම්පාදිත බෝධිපාක්ෂික ධර්‍ම විස්තරය මෙතෙකින් නිමියේ ය.

  1. (ඉහත දැක් වූ සූත්‍ර‍ පාඨයෙහි “කාමෙසු මිච්ඡාචාරා වෙරමණී” යන තැනට දැනට මුද්‍රිත ව ඇති සංයුක්ත නිකායෙහි ඇත්තේ “අබ්‍ර‍හ්මචරියා වෙරමණී” කියා ය. සම්‍යක් කර්මාන්ත මාර්ගාංගය විස්තර කරන අන් හැම සූත්‍ර‍වලත් අභිධර්ම පිටකයෙහිත් සැම තැන ම දක්නට ලැබෙන්නේ එතැන්හි කාමෙසු මිච්ඡාචාරා වෙරමණී යන්නය. මේ සූත්‍රයෙහි පමණක් මෙතැනට අබ්‍ර‍හ්මචරියා වෙරමණී යන්න යොදා තිබෙත හොත් ඒ ගැන අටුවාවෙහි යමක් කියා තිබිය යුතු ය. අටුවාවෙහි ද ඒ ගැන කිසිවක් සඳහන් කර නැත. එබැවින් එය ලේඛකයන් ගේ දෝෂයක් විය යුතු ය යි අප විසින් එය හැර අන් හැම තැන ම ඇති සැටියට කාමෙසු මිච්ඡාචාරා වෙරමණී කියා මෙහි යොදන ලදි.)

  2. *විචිකිච්ඡාව අට වැදෑරුම්ය. මෙහි දක්වා ඇත්තේ මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍ර‍ය අනුව ය. විස්තර “කෙලෙස් එක්දාස්පන්සීය” රේරුකානේ නාහිමි