බෞද්ධයාගේ අත්පොත
රේරුකානේ චන්දවිමල හිමි
පටුන
පටුන

බෞද්ධයාගේ අත්පොත

(දහසය වන මුද්‍ර‍ණය)

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.

සංඥාපනය

මතු ඵල ලබනු සඳහා කරන සෑම දෙයකින් ම උසස් ලෙස ඵල ලැබිය හැකි වන්නේ ඒ ඒ දෙය ගැන මනා දැනුම ඇති ව කරන තැනැත්තාට ය. කරන දෙය ගැන හොඳ දැනුමක් නැති ව වැඩ කරන්නහුගේ වියදම හා මහන්සිය බොහෝ සෙයින් නිශ්ඵල වේ. එසේ කරන දෙයකින් ඵලයක් ලැබෙතත් ලැබෙන්නේ වියදමට මහන්සියට නො සරිලන අල්ප ඵලයෙකි. වරදවා කරන ප්‍ර‍තිකාරයෙන් සමහර විට රෝගියා මිය යන්නාක් මෙන් නො දැන කරන වැඩවලින් සමහර විට විපතක් ද සිදු වේ. බුද්ධාගම ඇදහීම වනාහි උසස් ලෞකික ලෝකෝත්තර ඵල ලබනු සඳහා කරන්නකි. ආගම ඇදහීමෙන් ලැබිය හැකි ඒ උසස් ඵල ආගම ගැන දැනුම නැති ව නො මනා ලෙස ආගම අදහස බෞද්ධයාට නො ලැබී යන්නේ ය.

මෙ කල වෙසෙන බෞද්ධයන්ගෙන් බොහෝ දෙනෙක් ම සෑහෙන පමණට ආගම ධර්මය නො දන්නෝය. එ බැවින් ඇතැම් බෞද්ධයෝ පින් කෙත් වූ රත්නත්‍ර‍ය ඇසුරු කිරීමෙන් ද නොයෙක් විට පව් සිදුකර ගනිති. ලෙහෙසියෙන් කළහැකි ව තිබෙන ඇතැම් උසස් පින්කම් ලඝුකොට සිතා නො කර හරිති. සමහර විට පිනය යන හැඟීමෙන් පව් කරති. පවය යන හැඟීමෙන් ඇතැම් පින්කම් නොකර හරිති. ඇතැම් බරපතල පව් කම් ද ලඝු කොට සිතා කරති. බොහෝ වියදම් කොට බොහෝ වෙහෙසී දුබල පිනක් සිදු වන ලෙස දන් දෙති. නො මනා කොට සිල් රකිති. මහන්සිය නිෂ්ඵල වන සැටියට භාවනා කරති. මනා කොට ආගම නො දැනීම නිසා සමහර කරුණුවල දී සමහර විට පැවිද්දන් ද නො මග යනු දක්නා ලැබේ.

ආගම සම්බන්ධ කරුණුවලදී බොහෝ බෞද්ධයන් නොයෙක් විට වරදවා ක්‍රියා කරනු දුටු අපට ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස බෞද්ධයාගේ අත් පොත නමැති මේ පොත සම්පාදනය කිරීමේ අදහස අවුරුදු පසළොසකටත් ඉහතදී ඇතිවිය. මෙහි බෞද්ධයකුට තමාගේ ආගමික කටයුතු මහත්ඵල වන පරිද්දෙන් කරගත හැකිවීමට හා බෞද්ධ ප්‍ර‍තිපත්ති මනාකොට පිරිය හැකි වීමටත් අවශ්‍යයෙන් දත යුතු නිතර දැන සිටිය යුතු බොහෝ කරුණු කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි ලිහිල් බසින් හැකිතාක් නිරවුල් කොට විස්තර කර ඇත්තේ ය. ඒ කරුණු මෙහි පටුන කියවා දත හැකි ය. බෞද්ධයන් විසින් නිතර භාවිත කළ යුතු පොතක් බැවින් මෙයට බෞද්ධයාගේ අත් පොත යන නම තබන ලදී.

මෙ බඳු පොතකට වන්දනා ගාථා හා පිරිත් ද ඇතුළු විය යුතු නමුත් ඒවා ඇති පොත් රටේ සුලභ බැවින් මෙයට ඒවා ඇතුළු නො කරන ලදි.

මෙයට - ශාසනස්ථිතිකාමී,

රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර

නොවැම්බර් මස 18 වෙනි දින

2485/1949

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ දී ය.

“බෞද්ධයාගේ අත්පොත”

බුදු දහමේ මූලික කරුණු පැහැදිලි කරයි. මෙය තේරුම් ගැනීමෙන් නිවැරදි මිනිසකු විය හැකිය. මේ පොත කිසිවකුට පරිත්‍යාග කරන්නා කල්‍යාණ මිත්‍රයෙකි. ඔහු උසස් ධර්මදානයේ හිමිකරුවෙකි.

බෞද්ධයාගේ අත්පොත

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සද්ධම්මෝ ලෝකනාථෙන

අක්ඛාතෝ අමතං දදෝ

දුජ්ජනේ සුජනේ කුබ්බං

චිරං ලෝකේ පවත්තතු.

ලෝකයේ වාසය කරන්නා වූ මනුෂ්‍යයන් සම්බන්ධයෙන් නුවණැතියන්ගේ කල්පනාවට භාජන විය යුතු ප්‍ර‍ධාන කරුණු දෙකක් වේ. ඉන් පළමු වැන්න දුක් කරදර වලින් මිදී මෙ ලොව සැපසේ ජීවත් වීම ය. දෙවැන්න මරණින් මතු අපාගත නො වී සුගතියෙහි ඉපිද සුවසේ කල් යැවීම ය. මේ කරුණු දෙක ඉබේ ම සිදු වන දේ නො වන බැවින් ඒවාට යම්කිසි පිහිටක් සොයා ගත යුතුය. මනුෂ්‍යයෝ ගොවිකම් අත්කම් වෙළඳාම් ආදිය මෙලොව සැපයට පිහිට කර ගනිති. තම තමා විසින් සොයා ගන්නා ලද ඒ පිහිටවල හොඳ නරක දෙකේ සැටියට ඔවුන්ට නොයෙක් තරාතිරම්වල සැප දුක් ලැබේ.

මනුෂ්‍යයෝ පරලොව යහපත - පරලොව සැපය සඳහා ආගම් පිහිට කර ගනිති. මෙලොවට ද ආගම්වල පිහිට ඇතත් ඇත්තේ ස්වල්ප වශයෙනි. මනුෂ්‍යයකු මේ ලොව ජීවත් වන කාලය අවුරුදු සියයකට අඩු ස්වල්ප කාලයෙකි. ඉන් ඔබ්බෙහි ඇති පරලොව පිළිබඳ වූ කාලය කල්ප ගණනින් ද ප්‍ර‍මාණ කළ නොහෙන දීර්ඝ කාලයෙකි. එ බැවින් නුවණැත්තෝ මෙලොව ගැන කල්පනා කරනවාට වඩා පරලොව ගැන කල්පනා කරති. මෙලොව කොපමණ ලාභයක් ලැනෙ සැපයක් ලැබෙන කරුණක් වුවත් එය මරණින් මතු දුර්ගතියෙහි යෑමට කරුණක් වේ නම් එබඳු වැඩවලින් වැළකෙති. ඔවුහු ජීවිතාරක්ෂාව නිසා ද පාපයක් නො කරති. එහෙයින් -

“ජීවිතඤ්ච අධම්මේන - ධම්මේන මරණඤ්ච යං

මරණං ධම්මිකං සෙය්‍යෝ - යං චෙ ජීවේ අධම්මිකං”

යනු වදාරන ලදී. “අධර්මයෙන් ජීවත්වීම ය, ධර්මයෙන් මරණයය යන දෙකින් ධර්මයෙන් වන මරණය ම උතුම් ය” යනු එහි අදහසයි.

මෙසේ නුවණැතියන් විසින් ඉතා මහත් කොට සලකන ලද පරලොව සැපය ලබනු කැමතියන් විසින් ඒ සඳහා පිහිට කර ගැනීමට සත්‍යාගමක් සොයා ගත යුතු ය. ලෝකයෙහි එකිනෙකට වෙනස් බොහෝ ආගම් ඇති බැවින් ආගමක් තෝරා ගැනීම පරෙස්සමින් කළ යුත්තකි. සෑම ආගමකට ම මනුෂ්‍ය වූ හෝ දෙවි වූ හෝ ප්‍ර‍ධාන ශාස්තෘවරයෙක් ඇත්තේ ය. එතුමා ගේ ධර්මයක් ද ඇත්තේ ය. එතුමාගේ ශ්‍රාවක පිරිසක් ද වෙති. යම් ආගමක ප්‍ර‍ධාන ශාස්තෘවරයා යහපත් වේ නම් ධර්මය යහපත් වේ නම් ශ්‍රාවක සමූහය යහපත් වේ නම් ඒ ආගම පරලොවට පිහිට කර ගත හැකි යහපත් ආගම ය. ලෝකයෙහි ඇත්තා වූ ආගම් අතුරෙන් බුද්ධාගම යහපත් ශාස්තෘවරයෙක් ඇත්තා වූ ද, යහපත් ධර්මයක් ඇත්තා වූ ද, යහපත් ශ්‍රාවක පිරිසක් ඇත්තා වූ ද ආගම ය. බුද්ධාගම පිළිබඳ වූ ඒ ප්‍ර‍ධානාංග තුනට රත්නත්‍ර‍ය යයි කියනු ලැබේ. තෙරුවනය යනු ද එයට නමකි.

රත්න යනු සත්ත්වයන් විසින් බොහෝ උසස් කොට සලකන්නා වූ ද, බොහෝ ප්‍රයෝජනවත් වූ ද එ හෙයින් ම බොහෝ වටිනාකම ඇත්තා වූ ද, දුර්ලභ වූ ද, කලාතුරකින් ම දක්නට ලැබෙන්නා වූ ද, උසස් පුද්ගලයන් පරිභෝග කරන්නා වූ ද, රන් රිදී මුතු මැණික් ආදියට ව්‍යවහාර කරන නමෙකි. තථාගතයන් වහන්සේ ය, උන් වහන්සේගේ ධර්මය ය, උන් වහන්සේගේ ශ්‍රාවක සමූහය ය යන මේ වස්තු තුනට වඩා සත්ත්වයන්ට පිහිට වන්නා වූ ප්‍රයෝජනවත් වූ වස්තුවක් හෝ පුද්ගලයෙක් හෝ ලෝකයේ කොතැනක වත් නැත්තේ ය. එ බැවින් ඒ බුද්ධාදි උත්තම වස්තු තුනට රත්න ය යි කීම අතිශයින් ම යුක්ති යුක්ත ය.

බුද්ධාගම්කාරයන් විසින් ඒ රත්නත්‍ර‍ය මනා කොට නො හැඳින ගතහොත් තමන් අදහස ආගම සත්‍ය වශයෙන් ම පරලොවට පිහිට කර ගත හැකි ආගමක් ද යන බව ඔවුනට නො දත හැකි ය. වන්දනාමානාදි ඔවුන් කරන පින්කම් ද මහත්ඵල වන සැටියට නො කළ හැකි ය. රත්නත්‍ර‍ය හැඳින ගැනීම බුද්ධාගම ඇදහීමේ අත්තිවාරම ය. රත්නත්‍ර‍ය නො හඳුනන තැනැත්තා කරන පින්කම් අත්තිවාරමක් නැති ව තැනූ ගොඩනැගිල්ලක් සේ දුබල ය. එබැවින් පරලොව සැප පතන හැම දෙනා විසින් ම රත්නත්‍ර‍ය හැඳින ගත යුතු ය.

බුද්ධ රත්නය

ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි කීවද ඉවර නො වන ගුණ ඇත්තා වූ මහෝත්තමයන් වහන්සේ බුද්ධ නම් වන සේක.

ලෝකයෙහි ඇත්තා වූ පදවි අතුරෙන් සියල්ලට ම උසස් පදවිය බුද්ධ පදවිය ය. එය ලැබීමට යටත් පිරිසෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ධන පරිත්‍යාග, පුත්‍ර‍ පරිත්‍යාග, භාර්‍ය්‍යා පරිත්‍යාග, අංග පරිත්‍යාග, ජීවිත පරිත්‍යාග යන මේවා කරමින් පෙරුම් පිරිය යුතුය. එය ඉතා උදාර අදහස් ඇති මහා වීරයකුට හිම සැමට ම කළ හැකි වැඩක් නො වන බැවින් ලෝකයෙහි බුදු කෙනකුන් පහළ වන්නේ ඉතා දීර්ඝ කාලයකිනි.

බුදුරජාණන් වහන්සේ ආශ්චර්‍ය්‍ය පුද්ගලයෙකි. උන් වහන්සේ ගේ ගුණ තබා ශරීරය ද ප්‍ර‍මාණ කළ නොහේ. කොපමණ උස කෙනකුට වුව ද උන් වහන්සේගේ හිස් මුදුන නො බැලිය හැකි ය.

ලෝකයෙහි සැමට ම වඩා ශෝභන තැනැත්තා ද උන් වහන්සේ ම ය. මිනිස් ලොව තබා දෙව්ලොව බඹලොව ද රූප ශෝභාවෙන් උන් වහන්සේට වැඩි කෙනකු තබා සම කෙනෙක් ද නැත. උන් වහන්සේගේ ශරීරය රන්වන් ය. ඔප නැඟූ රන් කඳක් සේ දිලිසෙන්නේ ය. එයින් නිල් කහ රතු සුදු රැස් විහිදෙන්නේ ය. මදට පැහැය ඇත්තා වූ ද කලවම් පැහැය ඇත්තා වූ ද රැස් විහිදෙන්නේ ය.

සියලු කෙලෙසුන් නැසූ බැවින් උන්වහන්සේ ගේ සිත අති පරිශුද්ධ ය. කරුණාවෙන් තෙත් ය. තමන් වහන්සේගේ පුත්‍ර‍ වූ රහල් කුමරුවන් කෙරෙහි මෙන් ම දේවදත්තාදි සතුරන් කෙරෙහි ද උන් වහන්සේගේ මහා කරුණාව නොවෙනස් ව පවත්නේ ය. කිසි වස්තුවක් කෙරෙහි හා කිසි ම පුද්ගලයකු කෙරෙහි ද උන් වහන්සේ ගේ ඇල්මක් නැත. දේවදත්තාදි සතුරන් කෙරෙහි ද උන් වහන්සේගේ වෛරයක් නැත. උන් වහන්සේ සතුරු මිතුරු සැම දෙනාට ම යහපතක් ම කරන සේක.

උන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ කාලමුක්ත වූ ද සියල්ල දත් සේක. උන් වහන්සේගේ දිවැසට කොතරම් දුර තිබෙන දෙයක් වුව ද කොතරම් සියුම් දෙයක් වුව ද පෙනෙන්නේ ය. උන් වහන්සේගේ දිවකනට ඉතා දුර ශබ්ද හා පියවි කනට නො ඇසෙන ශබ්ද ද මැනවින් ඇසෙන්නේ ය. උන් වහන්සේට අනුන්ගේ සිත් අනුන්ගේ අදහස් අනුන්ගේ ගති ගුණ පෙනෙන්නේ ය. මැරෙන්නන් උපදින තැන පෙනෙන්නේ ය. ඒ ඒ ඉපදීම්වලට හේතු වන පින් පව් පෙනෙන්නේ ය.

උන් වහන්සේගේ සෘද්ධිය ඉතා ආශ්චර්‍ය්‍යවත් ය. උන් වහන්සේට දියගිනි සුළං ආදි ඕනෑ ම දෙයක් සිතින් මැවිය හැකි ය. කැමති වෙසක් මවා ගත හැකි ය. පොළොවෙහි මෙන් ම අහස්හි ද සියලු ඉරියව් පැවැත්විය හැකි ය. ජලයෙහි ද පොළොවෙහි මෙන් සියලු ඉරියව් පැවැත්විය හැකි ය. වක් කළ අතක් දිගු කරන්නාක් මෙන් සැණෙකින් ලෝකයේ ඕනෑම තැනකට යා හැකි ය. නො පෙනී ද විසිය හැකි ය.

උන් වහන්සේගේ ධර්ම දේශනය ඉතා ආශ්චර්‍ය්‍යවත් ය. දහම් දෙසන්නා වූ උන් වහන්සේගේ මුහුණ සතර දිශාවෙහිම සිට දහම් අසන සෑම දෙනාට ම නො වෙනස්ව පෙනෙන්නේ ය. උන් වහන්සේ විසින් එක ම භාෂාවකින් කරන දේශනය අසන සැම දෙනාට ම තම තමන්ගේ භාෂාවෙන් තේරෙන්නේ ය. උන් වහන්සේගේ හඬ ඉතා මිහිරි ය. මිනිස් හඬට බිය වී පලා යන වන සත්තු ද උන් වහන්සේගේ මිහිරි හඬ සතුටින් අසා ගෙන සිටිති. උන් වහන්සේගේ හඬ සේ මිහිරි, කටහඬක් තබා තූර්‍ය්‍යනාදයකුදු නැත. උන් වහන්සේ ගේ මේ මධුර ස්වරය බණ අසන පිරිසෙන් පිටතට ද නො පැතිරෙන්නේ ය. බණ අසන්නවුන් ලොව පුරා සිටියත්, සැමට ම ඇසෙන්නේ ය. උන් වහන්සේ යමක් ප්‍ර‍කාශ කෙළේ නම් එය එසේ ම ය. උන් වහන්සේට වැරදීම් නැත.

නියතමානී වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ උසස් පහත් පොහොසත් දුප්පත් කම් ගැන නො සලකන සේක. උන් වහන්සේ කෝශලාදි නරේන්ද්‍ර‍යන් ගේ මාළිගාවන්ට මෙන් ම කරුණක් ඇති වී නම් රොඩී කුප්පායමට ද වඩනා සේක. උන් වහන්සේ වැඳුම් පිදුම් කළ යුත්තන් අතුරෙන් අග්‍ර‍ වූ සේක.

ධර්ම රත්නය

සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය වූ පිටකත්‍ර‍ය ද යන මේ දස වැදෑරුම් ධර්මය ධර්‍මරත්න ය යි.

එහි සතර මාර්ගය යනු සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය යන සතර ය. සතර ඵලය යනු සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමි ඵලය, අර්හත් ඵලය යන සතර ය. මේ ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයෝ යම් කිසි තැනක ඇති වස්තු කොටසක් නොව, තම තමා විසින් ම වීර්‍ය්‍ය කොට, තම තමා තුළ උපදවා ගත යුතු ධර්මයෝ ය. නිර්වාණය යනු ඒ ලෝකෝත්තර මාර්ගයන් ලැබීමෙන් ලැබෙන උසස් සුවය ය.

පිටකත්‍ර‍ය යනු විනය පිටකය, සූත්‍ර‍ පිටකය, අභිධර්ම පිටකය යන තුන ය.

එහි, විනය පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයනට පැන වූ නීති සමූහය අන්තර්ගත දේශනා සමූහය ය. එය පාරාජික පාළිය ය, පාචිත්තිය පාළිය ය, මහාවග්ගපාළිය ය, චූලවග්ග පාළිය ය, පරිවාර පාළිය ය යි ප්‍ර‍කරණ වශයෙන් පසෙක් වන්නේය. ධර්මස්කන්ධ විසිඑක් දහසෙකි.

සූත්‍ර‍ පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයන්හි ඒ ඒ පුද්ගලයන්ට දේශනය කළා වූ, සාමාන්‍ය දේශනා සමූහය ය. ඒ සූත්‍ර‍ පිටකය දීඝ නිකාය ය, මජ්ඣිම නිකාය ය, සංයුත්ත නිකාය ය, අඞ්ගුත්තර නිකාරය ය, ඛුද්දක නිකාය යයි නිකාය පසකට බෙදා තිබේ.

එහි දීඝ නිකාය සූත්‍ර‍ සූතියකින් හා බණවර සිවු සැටකින් යුක්තය. මජ්ඣිම නිකාය සූත්‍ර‍ එක්සිය දෙපනසකින් හා බණවර අසූවකින් යුක්තය. සංයුක්ත නිකාය සූත්‍ර‍ සත් දහස් සත් සිය සැට දෙකකින් හා බණවර සියයකින් යුක්ත ය. අඞ්ගුත්තර නිකාය සූත්‍ර‍ නව දහස් සත්සිය සත් පනසකින් හා බණවර එක් සිය විස්සකින් යුක්තය. ඛුද්දක නිකාය කුඩා ග්‍ර‍න්ථ සමූහයකි. ඛුද්දකපාඨය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්තනිපාතය, විමානවත්ථු පාළිය, පේතවත්ථු පාළිය, ථෙරගාථා පාළිය, ථෙරිගාථා පාළිය, ජාතක පාළිය, නිද්දේස පාළිය, පටිසම්භිදා මග්ගය, අපදානය, බුද්ධ වංසය, චරියා පිටකය, යන මේ ප්‍ර‍කරණ පසලොස ඛුද්දක නිකාය ය. සූත්‍ර‍පිටකයෙහි ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් සවන වසරෙහි තව්තිසා දෙව්ලොව වස් තුන් මුළුල්ලෙහි දේශනය කළ පරම ගම්භීර පරමාර්ථ දේශනය, අභිධර්ම පිටකය ය. ධම්මසංගණීපකරණය, විභංග පකරණය, ධාතුකථා පකරණය, පුග්ගල පඤ්ඤත්ති පකරණය, කථාවත්ථු පකරණය, යමක පකරණය, පට්ඨාණ පකරණය යි අභිධර්ම පිටකයෙහි ප්‍ර‍කරණ සතෙකි. එහි ධර්මස්කන්ධ සතළිස් දෙදහසෙකි.

සංඝ රත්නය

නව දහස් එක් සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් හා මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් ද ඔවුනොවුන් හා සමාන වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ, ශාරිපුත්‍ර‍ මෞද්ගල්‍යාන ආනන්ද රාහුලාදි පුද්ගල සමූහය ආර්‍ය්‍ය සංඝරත්නය ය. පුද්ගලයන් අට දෙනකු ඇති බැවින් එයට අෂ්ටාර්‍ය්‍යපුද්ගල මහා සංඝරත්නය යි කියනු ලැබේ. ඒ සංඝරත්නයට අයත් ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙන නම් -

  1. සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය.
  2. සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය.
  3. සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය.
  4. සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා ය.
  5. අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය.
  6. අනාගාමි ඵලස්ථ පුද්ගලයා ය.
  7. අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය.
  8. අර්හත් ඵලස්ථ පුද්ගලයා ය.

යන මොහු ය.

ආර්‍ය්‍ය පුද්ගලයන් අට දෙනා අතුරෙන් සෝවාන් පුද්ගලයා හට සක්කායදිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසය යන සංයෝජන තුන නැත්තේ ය. ඔහුට කාමරාගාදි අවශේෂ සංයෝජන ඇත ද, ඒවා ඇත්තේ පෘථග්ජනයන්ට මෙන් ඖදාරික පරිද්දෙන් නොව සියුම් ලෙසිනි. ස්වල්ප වශයෙනි. එබැවින් සෝවාන් වූ ආර්‍ය්‍යශ්‍රාවකයන් වහන්සේ අපායෝත්පත්තියට හේතු වන තරම් ඖදාරික පාපයන් නොකරන්නාහ. එබැවින් උන්වහන්සේ අපායෙහි නූපදනාහ. ඒ ජාතියේදී ම රහත් නොවී සසර උපදිතත් උපදින්නේ සුගතිභවයෙහි සත්වරක් පමණකි.

සෝවාන් ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ ඒ තත්ත්වයෙහි සිට නැවත ත්‍රිලක්‍ෂණ භාවනාවෙහි යෙදෙනුවෝ සකෘදාගාමි මාර්ගඥානයට පැමිණ කාමරාග සංයෝජනය හා ව්‍යාපාද සංයෝජනය තවත් තුනී කොට සකෘදාගාමි ඵලයට පැමිණෙන්නාහ.

සකෘදාගාමී ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ නැවත ද විදර්ශනා කරන සේක්, අනාගාමී මාර්ගය ලබා, කාමරාග සංයෝජනය හා ව්‍යාපාද සංයෝජනය නිරවශේෂයෙන් ප්‍ර‍හාරණය කොට අනාගාමි ඵලයට පැමිණෙන සේක.

අනාගාමි භික්ෂූන් වහන්සේ නැවත භාවනාවෙහි යෙදෙනුවෝ අර්හත් මාර්ගයට පැමිණ ඉතිරි සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණෙන සේක. ඉන් පසු උන්වහන්සේ සංසාරයේ නැවත නූපදනා සේක.

ගෘහස්ථ භූමියෙහි සිටින බොහෝ මනුෂ්‍ය දේව බ්‍ර‍හ්ම ආර්‍ය්‍ය පුද්ගලයන් ඇත ද, ඔවුහු අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියවුන් නොවන බැවින් සංඝ රත්නයට අයත් නොවෙති. මෙකල වෙසෙන පෘථග්ජන භික්ෂූන් වහන්සේ ආර්‍ය්‍යයන් නොවන නමුත් නව දහස් එක් සිය අසූ කෝටි පනස් ලක්‍ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශීල සංඛ්‍යාත ආර්‍ය්‍ය ශීලස්කන්ධයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන් වහන්සේලා අනුව පිළිපදනා බැවින් සංඝරත්නයට අයත් වන සේක. පරිජි ඇවතට පැමිණියෝ ද, උපසම්පදාව පිහිටිය හැකි සේ විනයාගත පරිද්දෙන් උපසම්පදාව නො ලබා, උපසම්පන්නයන් සැටියට පෙනී සිටින්නෝ ද සංඝරත්නයට ඇතුළත් නො වෙති.

තිසරණය

තිසරණය යන වචනයේ තේරුම පිහිටවල් තුනය යනුයි. යම් කිසි වස්තුවකින් හෝ පුද්ගලයකු විසින් හෝ සත්ත්වයන්හට පැමිණියා වූ ද, මතු පැමිණෙන්නට ඇත්තා වූ ද, දුක් දුරු කිරීම හෝ සැපය ඇති කර දීම හෝ දෙක ම හෝ සිදු කරනු ලැබේ නම්, ඒ වස්තුවට ද පුද්ගලයාට ද පිහිට යයි කියනු ලැබේ. සාදුක නැති කිරීමෙන් හා ශක්තිය ගෙන දීමෙන් ද ආහාරය අපට පිහිට වේ. අවු සුළං වැසි ආදියෙන් වන දුක් දුරු කිරීමෙන් ගෙය මිනිසාට පිහිට වේ. එක් පුද්ගලයකුට පිහිට වන දේවල් මහා සමූහයක් ඇත්තේ ය. මා පිය නෑ මිතුරු ආදි පිහිට වන පුද්ගල සමූහයක් ද ඇත්තා හ. ඒ සියලු ම වස්තූන්ගෙන් හා පුද්ගලයන්ගෙන් ලැබෙන උපකාරයන්ට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් උපකාර වන්නා වූ උතුම් පිහිට තුනක් අපට ඇත්තේ ය. එනම් බුද්ධ, ධර්ම, සංඝ යන මේ රත්න තුන ය. බුද්ධාගම්කාරයන් විසින් තිසරණ ය යි සලකනු ලබන්නේ ඒ රත්න තුන ය. සත්ත්වයන්ට මාපියාදීන් පිහිට වන්නේ එක් ජාතියක් පිළිබඳ සැප දුක්වලට පමණෙකි. බුද්ධාදි රත්නත්‍ර‍ය වනාහි සතර අපායේ ඉපද ලැබිය යුතු සියලු දුක් දුරු කර ගැනීමට ද ජාති ජරා ව්‍යාධි මරණාදි සාංසාරික දුඃඛයන් දුරු කර ගැනීමට ද, මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම සම්පත් හා ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට ද සත්ත්වයනට පිහිට වේ. එබැවින් ඒ බුද්ධාදි රත්නත්‍ර‍ය ම සත්ත්වයන් ගේ උතුම් පිහිට තුන වන්නේ ය.

රත්නත්‍ර‍ය සත්ත්වයන්ට පිහිට වන ආකාරය

අපගේ මා පිය නෑ මිතුරෝ දුකක් පැමිණි කල්හි ඉන් අප මුදා ගැනීම සඳහා ක්‍රියා කරති. එසේ ම අපට නො ලැබූ සැප සම්පත් බා දීමට ද ක්‍රියා කරති. අපට රෝගාදි දුකක් පැමිණි කල්හි අප සුවපත් කරනු පිණිස තථාගතයන් වහන්සේ නො පැමිණෙති. අපට අන් උපකාරයක් කිරීමට ද උන් වහන්සේ නො පැමිණෙති. ධර්ම, සංඝ යන රත්න දෙක ද එසේ ම ය. එසේ හෙයින් ඒ රත්නත්‍ර‍ය අපට පිහිට වන්නේ කෙසේ ද යන ප්‍ර‍ශ්නය මෙහි ඇති වේ. එබැවින් රත්නත්‍ර‍ය සත්ත්වයනට පිහිට වන ආකාරය සැකෙවින් දක්වනු ලැබේ.

එක් එක් පුද්ගලයකුට පිහිට වන්නෝ බොහෝ වෙති. ඒ අය පිහිට වන්නේ ද එක් ආකාරයකින් නොව නොයෙක් ආකාරවලිනි. තථාගතයන් වහන්සේ වෙදකු රෝගියකුට පිහිට වන ආකාරයෙන් හා කුඹුරක් ගොවියකුට පිහිට වන ආකාරයෙන් ද ලෝකයාට පිහිට වන්නාහ. රෝගයක් ඇති තැනැත්තාට එය දුරු කර ගැනීමට වෙද මහතකුගේ පිහිට වුවමනා ය. වෙද මහතා රෝගියාට මේ මේ බෙහෙත් ගත යුතුය මේ මේ ආහාර ගත යුතුය, මේ මේ ආහාර නො ගත යුතුය යි අනුශාසනයක් කරයි. එය හැර වෙද මහතා ඒ රෝගියාට සාත්තු කරන්නේ ද නොවේ. බෙහෙත් ආහාර පාන සපයා දෙන්නේ ද නො වේ. රෝගියා ඒ සියල්ල ම තමා විසින් කර ගෙන හෝ තමාගේ නෑයන් මිතුරන් සේවකයන් ලවා කරවා ගෙන හෝ රෝගය සුව කර ගනී. එහෙත් රෝගය සුව වූ පසු මාගේ රෝගය අසවල් වෙද මහතා සුව කෙළේ ය යයි කියයි. සියල්ලෝ ම එය අවිවාදයෙන් පිළිගනිති. එසේ කියන්නේ ද, ලෝකයා එය පිළිගන්නේ ද වෙද මහතාගේ අනුශාසනය රෝගය සුව කර ගැනීමේ ප්‍ර‍ධාන හේතුව වූ නිසාය. වෙද මහතා ගේ අනුශාසනය රෝග සුවය ලැබීමේ ප්‍ර‍ධාන හේතුව වන බැවින් වෙද මහතා රෝගය සුව කළේ ය යි ද රෝගය සුව කර ගැනීමට පිහිට වූයේ ය යි ද කිය යුතු ය. බුදුරජාණන් වහන්සේ ද සත්ත්වයනට සියලු දුක්වලින් මිදීමේ හා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීමේ ද ක්‍ර‍මය දක්වා අනුශාසනය කළ සේක. දුකින් මිදෙනු කැමැත්තෝ ඒ අනුශාසනය පරිදි ක්‍රියා කොට දුකෙන් මිදෙති. ඒ ඒ සම්පත් කැමැත්තෝ ද උන් වහන්සේගේ අනුශාසනය පරිදි ක්‍රියා කොට ඒවා ලබා ගනිති. ඒ අනුශාසනය නො ලැබිණි නම් සත්ත්වයනට ඒ දෙක සිදු කර ගත නො හෙන බැවින් ඒ දෙකරුණට තථාගතයන් වහන්සේ ගේ අනුශාසනය ම ප්‍ර‍ධාන වේ. එබැවින් සියලු දුකින් මිදීමට හා සියලු සම්පත් ලැබීමට තථාගතයන් වහන්සේ පිහිට ව සේකැ යි කිය යුතු ය. එසේ ම පිළිගත යුතු ය.

කුඹුර ගොවියාට වී ලබා ගැනීමට උපකාරී වීම් වශයෙන් පිහිට වන්නකි. එහෙත් ගොවියා වී ලබා ගනුයේ ඔහුගේ මහත් වූ වීර්‍ය්‍යයෙනි. ගොවියා ගේ ප්‍රයෝජනය පිණිස අල්ප ව්‍යායාමයකුදු කුඹුර නො කරන්නේ ය. එහෙත් කුඹුර නැතිව කොතෙක් උත්සාහ කළත් ගොවියාට වී නො ලැබිය හැකි බැවින්, කුඹුර වී ලබා ගැනීමට ගොවියාට පිහිට වන්නක් සැටියට සැමදෙන ම පිළිගනිති. මනුෂ්‍යයන් විසින් කුඹුර වටිනා දෙයක් ලෙස පිළිගන්නේ ද ඒ නිසා ම ය. ව්‍යායාමයක් නැති බැවින් කුඹුර මනුෂ්‍යයන්ට පිහිටක් නැති දෙයක් නම්, මනුෂ්‍යයෝ එය වටිනා වස්තුවක් ලෙස නො පිළිගනිති. සකල පාපමලාපගමයෙන් සුපරිශුද්ධ වූ ද, අර්හත් සර්වඥත්වාදී අපරිමිත ගුණ සාරයෙන් සාරවත් වූ ද, සන්තාන ඇති තථාගතයන් වහන්සේ පින් නමැති උත්තම වස්තුව ලා දීමෙන් සත්ත්වයනට පිහිට වන්නා වූ කුඹුරෙකි. උන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම් මාත්‍ර‍ය පවා නොයෙක් වර දෙව් මිනිස් සැප ලැබීමට හේතු වන කුශලයෙකි. පූජා සත්කාර කිරීමෙන් ලැබිය හැකි කුශලය ගැන කියනුම කිම? එය සියලු දුක් දුරු කර ගැනීමටත් සියලු සම්පත් ලැබීමටත් හේතු වන කුශලයෙකි. ඒ මහත් වූ කුශලය තමාගේ ම උත්සාහයෙන් ලබා ගන්නක් වන නමුත් බුදුන් වහන්සේ ඒ සඳහා කරන ව්‍යායාමයක් නැති නමුත්, තථාගතයන් වහන්සේ ලොව පහළ නො වී නම් සත්ත්වයනට ඒ කුශලය ලබා ගත නොහෙන බැවින් ගොවියාට කුඹුර පිහිට වන්නාක් මෙන් තථාගතයන් වහන්සේ සත්ත්වයනට පිහිට වන බව දත යුතු ය.

අප ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සාක්‍යමුනීන්ද්‍ර‍යන් වහන්සේට මීට චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ම නිවන් ලැබිය හැකි ව තිබුණේ ය. උන් වහන්සේ එදා ලැබිය හැකි ව තිබූ නිවන සත්ත්වානුකම්පාවෙන් හැර සසරට පිවිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අතිදීර්ඝ කාලය මුළුල්ලෙහි මහා ව්‍යායාමයක් කළ සේක. එය කරන ලදුයේ සත්ත්වයනට පිහිට වනු පිණිස ම ය. දැන් අපට පිහිට වන්නා වූ අපගේ මාපියාදි කිසිවෙක් අපට දුකක් පැමිණි කල ඉන් අප මුදවා ගනු පිණිස තමන් ගේ ශරීරවලින් ලේ කළඳකුදු මස් කළඳකුදු වියදම් නො කරන්නාහ. එහෙත් බුදුන් වහන්සේ අපට පිහිටවනු පිණිස බුද්ධත්වය පතා ධනය ද, අඹුදරුවන් ද, තමන් වහන්සේගේ ඇස් ඉස් ලේ මස් ද ජීවිතය ද සියදහස් ගණන් ජාතිවලදී පරිත්‍යාග කළ සේක. එ බැවින් මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ අපට පිහිට වනු පිණිස කළ ක්‍රියා රාශිය ද ඉතා මහත් බව දත යුතු ය. එය මෙතෙකැයි ප්‍ර‍මාණ කරන්නට ද නුපුළුවන.

ධර්මරත්නය සත්ත්වයනට පිහිට වන ආකාරය මෙසේ ය: ලෝකෝත්තර ධර්ම නවය අතුරෙන් සෝවාන් මාර්ගය, එය ලබා ගත් තැනැත්තා සතර අපායෙන් හා ජාති සතකින් මත්තෙහි ඔහුට ලැබෙන්නට තිබෙන සංසාර දුඃඛයෙන් ද එතර කොට නිවනට පමුණුවයි. සෝවාන් මාර්ගයට පැමිණි ආර්‍ය්‍ය ශ්‍රාවකයා හට එහි ආනුභාවයෙන් නැති වූ දුඃඛස්කන්ධය මහ පොළොවේ පස් සමූහය මෙන් ද, ඔහුට ඉතිරි දුඃඛය කෙනකු විසින් මහපොළොවෙන් නිය පිටට ගත් පස් ස්වල්පය මෙන් ද දත යුතු ය. සකෘදාගාමී මාර්ගය එක් වරකින් මතු කාම ලෝකයේ ඉපද ලබන්නට වන දුඃඛ ස්කන්ධයෙන් ඒ මාර්ගය ලැබූ පුද්ගලයා එතර කොට නිවනට පමුණුවයි. අනාගාමි මාර්ගය, මතු කාමලෝකයේ ඉපිද ලැබිය හැකි දුඃඛස්කන්ධයෙන් එයට පැමිණි පුද්ගලයා එතර කොට නිවනට පමුණුවයි. අර්හත් මාර්ගය, මේ භවයෙන් මතු ඉපදීමෙන් ලැබිය හැකි දුඃඛස්කන්ධයෙන් එයට පැමිණි පුද්ගලයා එතර කොට නිවනට පමුණුවයි. නිර්වාණ ධර්මය වනාහි සකල සාංසාරිකාපායික දුඃඛස්කන්ධය නිවීම් වශයෙන් ඒ ඒ මාර්ග ඵලයන්ට පැමිණියවුන්ට පිහිට වේ. දුක් නැති කර ගැනීමට ඇත්තා වූ උසස් ම පිහිට ඒ නිවන ය. පර්‍ය්‍යාප්ති සංඛ්‍යාත පිටකත්‍ර‍ය ධර්මය වනාහි සියලු දුක් නැති කර ගැනීමේ හා සියලු සම්පත් ලබා ගැනීමේ ද මාර්ගය දැක්වීම් වශයෙන් සත්ත්වයන්ට පිහිට වේ.

සංඝරත්නය වනාහි බුද්ධ රත්නය මෙන් ම ලෝකයාට ධර්මානුශාසනය කිරීමෙන් හා දානාදි පුණ්‍ය කර්මයන් කර ගැනීමට ස්ථානයක් වීමෙන් ද සත්ත්වයන්ට පිහිට වේ.

සරණ ගමනය

බුද්ධාදි රත්නත්‍ර‍ය සත්ත්වයනට මහත් පිහිටක් වතුදු, සියල්ලෝ ම ඒ රත්නත්‍ර‍ය පිහිටක් සැටියට පිළිගෙන සේවනය නො කරති. මිථ්‍යාදෘෂ්ටිය නමැති පටලයෙන් වැසුණු සිත් ඇත්තා වූ බොහෝ දෙන රත්නත්‍ර‍ය සුළු කොට සලකා පරිකල්පිත වූ ද සත්‍ය වශයෙන් නැත්තා වූ ද දෙවියන් ගේ පිහිට සොයති. රත්නත්‍ර‍ය හැඳින ගත්තෝ ම එය උතුම් පිහිටක් වශයෙන් පිළිගෙන සේවනය කරති. යමෙක් බුද්ධාදි රත්නත්‍ර‍ය උතුම් පිහිටක් වශයෙන් පිළිගනී නම් ඒ පිළිගැනීම සරණ ගමන යයි කියනු ලැබේ. බුද්ධාදි රත්නත්‍ර‍ය උතුම් පිහිට තුනක් සේ පිළිගැනීමෙන් ඒ තැනැත්තා තිසරණයෙහි පිහිටියේ ය යි ද කියනු ලැබේ. තිසරණයෙහි පිහිටීමෙන් හෙවත් බුද්ධාදි රත්නත්‍ර‍ය තමාට ඇති සියල්ලට ම උතුම් පිහිට තුන යයි පිළිගැනීමෙන් ඒ තැනැත්තාට උපාසක යන නාමය හිමි වේ. බෞද්ධයා යනු ද ඔහුට නමෙකි.

සරණ ගමනයේ ප්‍රභේද

සරණ ගමනය වනාහි ලෝකෝත්තර සරණ ගමනය, ලෞකික සරණ ගමනය යි දෙවැදෑරුම් වේ. බුද්ධාදි රත්නත්‍ර‍ය උතුම් පිහිට වශයෙන් පිළිගැනීමට බාධක දෘෂ්ටි විචිකිත්සාදි ක්ලේශයෝ මතු කිසි කලෙක ඒ සන්තානයේ නූපදනා පරිද්දෙන් ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේදී එහි බලයෙන් ඒ පුද්ගලයාට ප්‍ර‍හීණ වේ. ඉන් පසු රත්නත්‍ර‍ය පිළිබඳ මඳ සැකයකුදු ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයාට ඇති නොවේ. ඒ පුද්ගලයාට විශේෂ සමාදානයක් නැතිව ම ඒ අවස්ථාවේ දී සරණ ගමනය සිද්ධ වේ. ලෝකෝත්තර මාර්ගයාගේ බලයෙන් සිදු වන්නා වූ ඒ සරණ ගමනය ලෝකෝත්තර සරණ ගමනය ය. එහි බිඳීමක් හෝ කිලිටි වීමක් හෝ නැත. ලෝකෝත්තර සරණ ගමනයාගේ වශයේ සරණ ගිය ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මතු භවයකදී වුව ද අන්‍ය ශාස්තෘවරයකුගේ පිහිට නො සොයන්නේ ය. අන්‍ය ශාස්තෘවරයකු පිහිට සැටියට නො පිළිගන්නේ ය.

සද්ධර්ම ශ්‍ර‍වණ සත්පුරුෂ සේවනාදියෙන් රත්නත්‍ර‍ය හැඳින එහි සිත පහදවා ගෙන සරණ ගමනයට බාධක වූ දෘෂ්ටි විචිකිත්සාදි ක්ලේශයන් මැඩ රත්නත්‍ර‍ය උතුම් පිහිට සේ සලකා ගන්නා වූ පෘථග්ජනයාගේ ඒ සරණ ගමනය ලෞකික සරණ ගමන ය.

මෙසේ සිදු වන්නා වූ සරණ ගමනය ආත්මසන්නිර්‍ය්‍යාතන සරණගමනය, තත්පරායණතා සරණ ගමනය, ශිෂ්‍ය භාවෝපගමන සරණ ගමනය, ප්‍ර‍ණීපාත සරණ ගමනය යි සතර ආකාර වේ.

එහි ආත්මසන්නිර්‍ය්‍යාතන සරණ ගමනය යනු සසර දුකින් මිදීම පිණිස හා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීම පිණිස ද බුද්ධාදි රත්නත්‍ර‍යට ආත්මය භාර කිරීම හෙවත් පරිත්‍යාග කිරීම ය.

තත්පරායණතා සරණ ගමනය යනු “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” යනාදීන් භික්ෂු සාමණේරාදීන් අතුරෙන් යම් කිසිවකු ඉදිරියේ කීමෙන් හෝ තමා ම ඉටා ගැනීමෙන් හෝ රත්නත්‍ර‍ය උතුම් පිහිට තුන වශයෙන් පිළිගැනීමෙන් සිදුවන සරණ ගමනය ය.

ශිෂ්‍යභාවෝපගමන සරණ ගමනය යනු මම අද පටන් බුදුන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හෙවත් අතවැසියෙක් වෙමි. ධර්මයේ අතවැසියෙක් වෙමි, සංඝයාගේ අතවැසියෙක් වෙමි ය යි ආරෝචනය කිරීමෙන් හෝ සිතා ගැනීමෙන් හෝ සිදුවන සරණ ගමනය ය.

ප්‍ර‍ණීපාත සරණ ගමනය යනු තමා විසින් අන්‍යයන්ට කරන උසස් ම ගෞරවය කිරීම් වශයෙන් සිදු වන සරණ ගමනය ය. යමකු විසින් අන්‍යයන්ට කරන උසස් ම ගෞරවය පිරිනැමෙන්නේ ඒ තැනැත්තා විසින් අන් හැමට ම වඩා උසස් කොට සලකන තැනට ය. එ බැවින් ඒ ගෞරවය කිරීම සරණ ගමනය වේ.

ප්‍ර‍ණීපාතය යනු වන්දනාදියට නමෙකි. මනුෂ්‍යයෝ නෑකම් සලකා මාපියාදීන්ට වඳිති. බිය නිසා රාජාදීන්ට වඳිති. උපකාර සලකා ගුරුන්ට වඳිති. පින් ලබනු පිණිස වැඳුම් පිදුම් කළ යුතු උතුමක් බව සලකා ද වඳිති. සතර ආකාරයකින් කරන ඒ වැඳුම් අතුරෙන් පින් ලබනු පිණිස වැඳුම් පිදුම් කළ යුත්තකු බව සලකා කරන වන්දනාවෙන් ම සරණ ගමනය සිද්ධ වේ අන් ආකාරයන්ගෙන් කරන වැඳීමෙන් සරණ ගමනය සිදු නො වේ. බුදුනට වුව ද මුන් වහන්සේ අපේ නෑ කෙනකැ යි වඳින්නා හට ද රාජාදීන් පවා වඳින මුන් වහන්සේට නො වැඳීමෙන් කරදර ඇති විය හැකි යැයි බියෙන් වඳින්නා හට ද මුන් වහන්සේ අපගේ ගුරු කෙනකැයි වඳින්නා හට ද සරණ ගමනය සිදු නො වේ.

සරණ ගමනයා ගේ ඵල හා ආනිසංස

සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර ලෝකෝත්තර ඵලය, ලෝකෝත්තර සරණ ගමනයෙන් ලැබෙන ඵලය ය. සකල දුඃඛයා ගේ ක්ෂයය වූ නිර්වාණය එයින් ලැබෙන ආනිසංස ය. මනුෂ්‍යලෝක දිව්‍ය ලෝකයන්හි ලැබිය හැකි භවභෝග සම්පත්තීහු ලෞකික සරණ ගමනයා ගේ ඵලයෝ ය. සතර මාර්ගය සතර ඵලය නිර්වාණය යන ලෝකෝත්තර ධර්මයෝ එහි ආනිසංස වශයෙන් සැලකිය යුත්තාහු ය.

සරණා ගමනයා ගේ කිලිටිවීම හා බිඳීම

රත්නත්‍ර‍ය ගැන දැනීම මඳ වීමෙන් ද, රත්නත්‍ර‍ය කෙරෙහි සැක ඇති වීමෙන් ද, රත්නත්‍ර‍ය පිළිබඳව දුර්මත ඇති වීමෙන් ද, ලෞකික සරණ ගමනය කිලිටි වේ. කිලිටි වූ සරණ ගමන කුශලය ස්වල්ප ඵල ඇත්තේ ය. සුපරිසුද්ධ සරණාගමන කුශලය මහත් ඵල මහානිසංස වන්නේ ය. ලෝකෝත්තර සරණ ගමනයේ කිලිටි වීමක් නැත්තේ ය. ලෞකික සරණ ගමනයාගේ භේදය (බිඳීම) බුද්ධාගම ප්‍ර‍තික්ෂේප කිරීමෙන් හා අන්‍යාගමක පිළිගැනීමෙන් ද මරණයෙන් ද වේ. බුද්ධාගමය ප්‍ර‍තික්ෂේප කිරීමෙන් හෝ අන්‍යාගමක් පිළිගැනීමෙන් හෝ වන සරණ ගමන භේදය සාවද්‍යය ය. මරණයෙන් වන භේදය නිරවද්‍යය ය. ආර්‍ය්‍යශ්‍රාවකයන් ඒ භවයේ දී තබා අන්‍ය භවයකදී වත් අන්‍යාගමක් නො පිළිගන්නා බැවින් ලෝකෝත්තර සරණගමනයා ගේ භේදයක් නැත්තේ ය.

දෙවියන්ගේ පිහිට සෙවීම.

බොහෝ බෞද්ධයෝ විෂ්ණු, කතරගම ආදි දෙවිවරුන්ට ද වැඳුම් පිදුම් කරති. ඔවුන්ගේ පිහිට සොයති. එයින් ඒ බෞද්ධයන්ගේ සරණ ගමනය කිලිටි වේ ය යි ද, බිඳේ යයි ද, ඇතැමුන් කියතත් එය එසේ ම ය යි නො පිළිගත හැකිය. ස්වශක්තියෙන් සිදු කර ගත නො හෙන දෙයක් එය සිදු කිරීම සමතකු ලවා කරවා ගැනීමේදී ඒ ඒ තැනැත්තාගේ තත්ත්වයේ සැටියට හා සිදු කරවා ගත යුතු කාරණයේ හැටියට ද ගරු බුහුමන් කරන්නට හා පුද පඬුරු ඔප්පු කරන්නට ද සිදුවේ. බොහෝ බෞද්ධයෝ ද දෙවියන්ගෙන් යමක් කරවා ගන්නට ලබා ගන්නට වුවමනා වූ විට එය කරවා ගනු සඳහා ලබා ගනු සඳහා දෙවියන්ට වැඳුම් පිදුම් කරති. එය රාජාදීන්ට වැඳුම් පිදුම් කිරීම වැනි ක්‍රියාවෙකි. දෙවියන්ට එසේ කිරීමෙන් සරණගමනය කිලිටි වෙතොත් බිඳෙතොත් රජුන්ට ඇමතියන්ට වැඳීමෙන් හා පඬුරු ඔප්පු කිරීමෙන් ද සරණ ගමනය කිලිටි විය යුතුය. බිඳිය යුතුය. නො බිඳෙන නො කිලිටි වන ලෝකෝත්තර සරණ ගමනය ඇත්තා වූ ආර්‍ය්‍යශ්‍රාවකයන් ද රජුන්ට වැඳීම, පුද පඬුරු දීම කරන බැවින් එයින් සරණ ගමනයට හානියක් නො විය හැකි ය. යම් කිසිවක් ඉටු කර ගැනීම පිණිස රාජාදීන්ට වැඳීමෙන් පුද පඬුරු දීමෙන් සරණගමනයට හානියක් නො වන කල්හි එබඳුම කරුණකට දෙවියන්ට වැඳීමෙන් පිදීමෙන් දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීමෙන් ද සරණ ගමනයට හානියක් නො විය හැකිය. සරණ ගමනයට හානියක් වනුයේ අබෞද්ධයන් දෙවියන්ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන්, රත්නත්‍ර‍යට වඩා දෙවියන් උසස් කොට සලකා වැඳුම් පිදුම් කිරීමෙනි.

රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය

රත්නත්‍ර‍ය සරණ ගියා වූ බෞද්ධයා විසින් එය අමතක නො කොට නැවත නැවත රත්නත්‍ර‍ය සේවනය කළ යුතු ය. රත්නත්‍ර‍යට මහත් භක්තියක් හා අවනත බවක් යටත් බවක් සෑම බෞද්ධයකු කෙරෙහි ම තිබිය යුතු ය. රත්නත්‍ර‍යට තමා ගේ උසස් ම ගෞරවය පිරිනැමිය යුතු ය. හැකි පමණින් එයට පූජා සත්කාර කළ යුතුය.

දැන් බුදුන් වහන්සේ අප ඉදිරියේ නැති බැවින් උන් වහන්සේට කරන්නා වූ ගෞරවය හා පූජාව දාගැබ් මහබෝ පෙති පිළිම ආදී පූජනීය වස්තු කෙරෙහි පැවැත්විය යුතු ය. ඒ පූජනීය වස්තූන්ට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. විහාර ගෙයකට, බෝ රුකක් සමීපයට, දාගැබක් සමීපයට යන කල්හි රජකු ඉදිරියට යන්නාක් මෙන් ගෞරවයෙන් යා යුතුය. කුඩ ඉස ලා, හිස් වැසුම් ලා, දෙවුර වසා පොරවා නො පිවිසිය යුතු ය. ඒ ස්ථානයන්ට වහන් පය ලා නො පිවිසිය යුතු ය. ඒ ස්ථාන අපවිත්‍ර‍ වන ලෙස අශුද්ධ වූ පා ඇතුව නො පිවිසිය යුතු ය. සිද්ධස්ථාන සමීප භූමිභාගයන් ද අපවිත්‍ර‍ නො කළ යුතු ය. සිද්ධස්ථානයකට පැමිණි කල එය කුණු කසලවලින් අපවිත්‍ර‍ වී තිබෙනු දුටුව හොත් පවිත්‍ර‍ කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. සිද්ධස්ථාන නො නැසී පවත්නා පරිදි කැඩුම් බිඳුම් සංස්කරණය කිරීම හා ඒවා වැඩි දියුණු කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. විහාරස්ථානවලට පුදා තිබෙන බුද්ධ සන්තක වස්තුව විෂක් මෙන් සලකා ඒවා තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් වැළකිය යුතුය. බුද්ධ සන්තක වූ සුළු දෙයක් වුව ද තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් ගෙවා ගැනීමට දුෂ්කර නපුරු විපාක ඇති පාපයක් අත් වන බව මතු දැක්වෙන කථාවෙන් දත යුතු ය.

පෙර මේ ලක්දිව රුහුණු රට “දීඝාවුක” නම් චෛත්‍යයට කොඩියක් කොට පිදූ වස්ත්‍ර‍යක් සුළඟින් කැඩී ගොස් එක් කුඹුරකට වැටුණේ ය. ඒ වස්ත්‍රයේ කොනක චෛත්‍යයට පුදන ලද බව ද ලියා තිබුණේ ය. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ ඒ වස්ත්‍ර‍ය දැක එය ගෙන චෛත්‍යයට පිදූ දෙයක් බව දැන දැන ම අකුරු ලියා තිබූ කොන ඉරා දමා පොරවා ගත්තේ ය. පසු කලෙක හේ කාලක්‍රියා කොට ඒ පව නිසා ගිනියම් වූ යපටින් වෙළුණු ශරීරයක් ඇති ප්‍රේතයෙක් විය. ඔහුගේ ශරීරය නිරන්තරයෙන් දැවෙන්නේ ය. ඔහුට හිඳගන්නට ද නිදන්නට ද නුපුළුවන. ඉතා අමාරුවෙන් තැනකින් තැනකට යෑම පමණක් ඔහුට කළ හැකි ය. එක් දවසක් මධ්‍යම රාත්‍රියේ දී ඒ ප්‍රේතයා භික්ෂූන් වහන්සේ කෙනකුන් සමීපයට පැමිණ තමාගේ දුක කියා සිටියේ ය. ඔහුගේ බස් අසා සංවේගයට පත් භික්ෂූන් වහන්සේ “තට මේ දුකින් මිදීමට කුමක් කෙරෙම්දැයි” විචාළහ. “දීඝාවුක නම් චෛත්‍යරාජයා හට කොඩි දහසක් පිදුව හොත් මේ දුකින් මිදිය හැකි ය.” යි ප්‍රේතයා කීය. තෙරුන් වහන්සේ පසු දින ප්‍රේතයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් වස්ත්‍ර‍ සොයා කොඩි පනසක් කොට චෛත්‍යරාජයාට පුදා පින් පැමිණවූහ. එ දින රාත්‍රියේ ප්‍රේතයා පැමිණ හිසින් අටඟුලක් පමණ යපටින් මිදුණනු බව තෙරුන් වහන්සේට සැල කෙළේ ය. තෙරුන් වහන්සේ දෙවන දිනයෙහි කොඩි පනසක් පුදා ප්‍රේතයාට පින් පැමිණවූහ. එයින් තවත් අටඟුලක් ප්‍රේතයාගේ ශරීරය යපටින් මිදිණ. මෙසේ තෙරුන් වහන්සේ දිනෙන් දින වස්ත්‍ර‍ සොයා චෛත්‍යයට කොඩි පුදමින් දහස සම්පූර්ණ කළ සේක. කොඩි දහස සම්පූර්ණ වූ කල්හි ප්‍රේතයා සම්පූර්ණයෙන් යපටින් මිදී සැපවත් විය. බුද්ධ සන්තක වස්තුව ගැනීමෙන් වන විපාකයේ බරපතලකම මේ කථාවෙන් තේරුම් ගෙන පරෙස්සම් වෙත්වා!

ධර්මය වස්තුවක් වශයෙන් පෙන්වන්නට ඇති දෙයක් නොවන බැවින් ධර්මයට කරන පූජාව ධර්මධරයන් ධර්ම කථිකයන් කෙරෙහි කළ යුතු බව තථාගතයන් වහන්සේ වදාළ සේක. එ බැවින් ධර්මයට පුදනු කැමතියන් විසින් ඒ දෙය ධර්ම පූජා වශයෙන් ධර්මධරයන් වහන්සේලාට, ධර්ම කථිකයන් වහන්සේලාට පිදිය යුතු ය. ධර්මය ලියා තිබෙන්නා වූ ද මුද්‍ර‍ණය කර තිබෙන්නා වූ ද පොත් පත් ධර්ම චෛත්‍යයෝ ය. ධර්මයට ගරු කිරීමක් වශයෙන් ඒවාට ද වැඳුම් පිදුම් කළ හැකිය. ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්මකථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. තවද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතුය. තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. ධර්මය ආරක්ෂා වීමට කළ යුතු දේ නම් දහම් පොත් පත් සුලභ කිරීම ය. ධර්මාචාර්‍ය්‍යවරයන්ට හා ධර්මය උගන්නා ශිෂ්‍යයන්ට අනුබල දීමය, ධර්ම දේශනා මාර්ගයෙන් මහජනයා අතර ධර්මය පතුරුවාලී ය යන ආදිය යි.

සංඝරත්නයට අයත් භික්ෂූන් වහන්සේලා කෙරෙහි සෑම කල්හි ම මෛත්‍රී සහගත සිත පැවැත්විය යුතුය. සර්වඥ ශාසනය ගෙන යන්නා වූ උන්වහන්සේලාට උපකාර කළ යුතුය. උන්වහන්සේලාගේ සුව දුක් ගැන කල්පනා කළ යුතු ය. උන්වහන්සේලාට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. උන්වහන්සේලා දුටු විට හුනස්නෙන් නැගිටිය යුතු ය. උන්වහන්සේලා ඉදිරියේ උසසුන්වල නො හිඳිය යුතු ය. වහන් පය ලා හිස් වැසුම් ලා නො සිටිය යුතු ය. උන්වහන්සේලා හා කථා කරන කල්හි ගිහියන් හා කථා කරන්නාක් මෙන් කථා නො කොට, හාමුදුරුවන් වහන්සේ, ස්වාමීන් වහන්සේ යනාදි වචන වලින් ගෞරවයෙන් කථා කළ යුතු ය. නැති තැන්හි ද උන්වහන්සේලාට අගෞරව වන වචනවලින් කථා නො කළ යුතු ය.

බෞද්ධයා විසින් නිතර භික්ෂූන් වහන්සේලා ගෙන් අවවාදානුශාසනා ලබා ගත යුතුය. භික්ෂූන් වහන්සේලා ආශ්‍ර‍ය කිරීමේදී උන් වහන්සේලා හා අධික මිත්‍ර‍ත්වයට නො පැමිණ ගින්න ආශ්‍ර‍ය කරන්නාක් මෙන් පරෙස්සමින් ආශ්‍ර‍ය කළ යුතුය. භික්ෂූන් වහන්සේ හා අධික මිත්‍ර‍ත්වයට පැමිණිය හොත් උන් වහන්සේ කෙරෙහි ගෞරව නැති වීමෙන් ද සඟ සතු දෑ තමාගේ ප්‍රයෝජනයට ගන්නට පුරුදු වීමෙන් ද අපාගත විය හැකි ය. නපුරු නො මනා අදහස් ඇති දුශ්ශීල භික්ෂූන් ආශ්‍රයෙන් වැළකිය යුතුය. පෙර එක් උපාසිකාවක් පාප භික්ෂුවක ගේ අනුශාසනය පිළිගෙන සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගර්හා කොට ඒ භික්ෂුව සමඟ වැසිකිළි වළක ප්‍රේතව උපන්නී ය.

තමාට අවවාද අනුශාසනා ලබා ගැනීම හා උපස්ථාන කොට පින් සිදු කර ගැනීමටත් මිස අන් ලාභයක් ප්‍රයෝජනයක් සඳහා භික්ෂූන් ආශ්‍ර‍ය නො කළ යුතුය. තමා විසින් භික්ෂූන් වහන්සේට කෙතෙක් උපකාර කළත් ප්‍ර‍ත්‍යුපකාර වශයෙන් උන් වහන්සේගෙන් ආගමික කටයුතු හැර අනෙකක් බලාපොරොත්තු නො විය යුතුය.

භික්ෂූන් වහන්සේලා එක්විසි අනේසනයෙන් වෙන් ව වාසය කළ යුත්තෝ ය. තමාට සංග්‍ර‍හ කරන දායකයන් සතුටු කරවීමට ඔවුනට සංග්‍ර‍හ කරන්නට ගියහොත් භික්ෂුව වරදට පැමිණේ. එබැවින් සිල්වත් භික්ෂූහු එසේ නො කරති. එබැවින් බෞද්ධ ගෘහස්ථයා විසින් භික්ෂූන් වහන්සේගෙන් යම් කිසිවක් ලබා ගත නො හැකි වීම නිසා හෝ උන් වහන්සේ ලවා වැඩක් කරවා ගත නොහැකි වීම නිසා හෝ භික්ෂූන් වහන්සේට නො කිපිය යුතුය. ඇතැම් අලජ්ජි භික්ෂූහු ගිහියන් සතුටු කරවා ගැනීම පිණිස ඔවුනට යම් යම් දේ දෙති. ඔවුන්ගේ වැඩ කර දෙති. ආගම නො දත් බෞද්ධයා ඒ ගැන භික්ෂුව කෙරෙහි පහදී. නියම ලෙසට ආගම අදහනු කැමති බෞද්ධයා විසින් එබඳු භික්ෂූන් ආශ්‍රයෙන් වැළකිය යුතු ය. භික්ෂූන් වහන්සේලා විසින් නො කළ යුතු දේවල් දැන ගැනීම ගිහියන්ට ද ප්‍රයෝජනවත් බැවින් “එක්විසි අනේසනය” මෙහි දක්වනු ලැබේ.

  1. ගිහියන් සතුටු කරවනු පිණිස සඟසතු වූ හෝ තමා සතු වූ හුණ ලී ඔවුනට දීම.
  2. මංගලාවමංගලාදි කටයුතුවලට ගිහියන්ට මල් දීම,
  3. පොල් අතු තල් අතු ආදි පත්‍ර වර්ග ගිහියන්ට දීම,
  4. පොල් පුවක් ආදි ගෙඩි ජාති දීම,
  5. දැහැටි දඬු දීම,
  6. මුව දෝනා පැන් දීම,
  7. නහන පැන් දීම,
  8. ඇඟ ගල්වන සුණු වර්ග (සබන් වර්ග) දීම,
  9. ගෙවල් සකස් කර ගැනීම් ආදියට මැටි දීම,
  10. තමා පහත් තන්හි තබා ගිහියන් උසස් කොට, සිත් ගැනීම සඳහා කථා කිරීම.
  11. ගිහියන්ගේ සිත් ගැනීම සඳහා බොරු සැබෑ මිශ්‍ර‍ කොට කථා කිරීම.
  12. හිස පිරිමැදීම ආදියෙන් දායකයාගේ දරුවන් හුරතල් කිරීම.
  13. ගිහියන්ගේ පණිවිඩ ගෙන ගමින් ගමට යෑම.
  14. වෙදකම් කිරීම.
  15. ගෙන් ගෙට ගිහියන්ගේ පණිවිඩ කීම.
  16. ගිහියන්ට වැඩ කරදීමට යෑම.
  17. තමා ලත් යහපත් දෙය ගිහියන්ට දී ඔවුන් සතු දෙය තමා ගැනීම.
  18. ගිහියන්ට ලාභාශාවෙන් අල්ලස් දීම.
  19. ගෙබිම් ආදිය දැක්වීම.
  20. නැකත් කීම.
  21. ශරීර ලක්ෂණ බලා පලාපල කීම.

මේ කරුණු එක් විස්ස අනේසන නම් වෙති. මේවායින් වැළකී සිටින සිල්වත් භික්ෂූන්ට, ගිහියනට ආමිෂයන් සංග්‍ර‍හ කිරීමට ඉඩක් නැත.

ගිහියන් විසින් සංඝ සන්තක වස්තුව තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමෙන් හා කිලිටි කිරීම් ආදියෙන් ඒවාට හානි කිරීමෙන් ද වැළකිය යුතුය. පෙර එක් මිනිසෙක් සංඝ සන්තක තෙල් සංඝයාගේ අවසර නැති ව ඇඟ ගල්වා ගත් පවින් නරකයෙහි බොහෝ කල් දුක් විඳ, ඉන් මිදී ගයා පොකුණ සමීපයේ කටු මැටි බිත්තියක් බඳු රළු ශරීරය ඇති යක්ෂයෙක් වූයේය. කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේදී එක් ගොවිකේ කුඹුර සාමින් සිට නො නා බණ අසන්නට ගොස් ඇඟ තැවරී තුබූ මඩින් සඟ සතු බුමුතුරුණු අපවිත්‍ර‍ කොට ඒ පවින් බොහෝ කල් නරකයේ පැසී, ඉන් මිදී ගයා පොකුණ සමීපයේ ඉදිකටු බඳු ලොම් ඇති යක්ෂයෙක්ව උපන්නේය. මෙයින් දෙ අනූ වන කප ඵුස්ස නම් වූ බුදුන් වහන්සේගේ කාලයේදී සඟ සතු දන් කෑ සුවාසු දහස් දෙනෙක් අප බුදුන් සමයේ ද ප්‍රේත ව විසුවෝ ය. සංඝ සන්තක වස්තු ගැනීමේ හා එයට හානි කිරීමේ විපාකවල බරපතලකම කියන ලද කථාවලින් තේරුම් ගෙන එයින් පරෙස්සම් වෙත්වා!

භික්ෂූන් වහන්සේලා වනාහි තමනට වරද කළ අයගෙන් පළි ගන්න නොයන ඉවසන ස්වභාව ඇති සත්පුරුෂ පිරිසකි. එ බැවින් ඇතැම් දුෂ්ට පව්කාරයෝ බියක් සැකයක් නැතිව ම භික්ෂූන් වහන්සේලාට අපහාස කරති. චෝදනා කරති. සමහර විට ඔවුහු භික්ෂූන් වහන්සේලාට ගර්හා කිරීම තමන්ගේ පණ්ඩිතකමේ අංගයක් කොට සලකති. එක් භික්ෂුවකට මුත් අගෞරව කිරීමෙන් මුළු සංඝ රත්නයට ම අගෞරව කළේ වන්නේ ය. එය මහත් වූ පාපයෙකි. ධාර්මික ශ්‍ර‍මණයන් වහන්සේලාට අගෞරව කිරීම චෝදනා කිරීම අලාභහානි කිරීම මහා නරකයන්හි දීර්ඝ කාලයක් දුක් විඳීමට හේතු වන බරපතල පවක් බව දක්වා තිබේ. සමහර විට එහි විපාකය මෙලොවදී ම ද ලැබෙන්නේ ය. එයින් වන්නා වූ අනිෂ්ට විපාක සමහර විට කළ තැනැත්තා පමණක් නොව ඔහුගේ දරු මුණුබුරන්ට ද විඳින්ට සිදුවේ. එබැවින් තථාගතයන් වහන්සේ විසින් කොසොල් රජතුමාට මෙය වදාරන ලදි.

  1. වනං යදග්ගි ඩහති - පාවකො කණ්හවත්තනි
    ජායන්ති තත්ථ පාරොහා - අහො රත්තාන මච්චයෙ
  2. යඤ්ච ඛො සීලසම්පන්නො - භික්ඛූ දහති තේජසා
    න තස්ස පුත්තා පසවෝ - දායාදා වින්දරෙ ධනං
  3. අනපච්චා අදායාදා - තාලවත්ථු භවන්ති තෙ
    තස්මා හි පණ්ඩිතො පොසො - සම්පස්සං අත්ථමත්තනො
  4. භූජඞ්ගමං පාවකඤ්ච - ඛත්තියඤ්ච යසස්සිනං
    භික්ඛුඤ්ච සීලසම්පන්නං - සම්මදෙව සමාචරෙ.

ගාථාවල අදහස මෙසේ ය:

  1. ගිය මග දවා හළු කරන්නා වූ ගින්න යම් කලෙක වනයක් දවා ද, කාලයක් ගතවීමෙන් පසු ඉතිරි වූ මුල්වලින් ලියලා නැවතත් එහි ගස් ඇති වන්නේය.
  2. සිල්වත් වූ භික්ඛු තෙමේ තමාට වරදක කළ කෙනකු තමාගේ තේජසින් යම් කලෙක දවා ද, එ කල්හි ඔහු පමණක් නොව ඔහුගේ දරුවෝ ද ගව මහිසාදි සත්ත්වයෝ ද නස්නාහ. ඔහු ගේ ධනය උරුමක්කාරයෝ නො ලබන්නාහ.
  3. සිල්වත් භික්ෂුන්ට වරද කිරීමෙන් ඒ භික්ෂූන්ගේ සීල තේජසින් දවනු ලැබූ ඔවුහු දරුවන් නැත්තාහු උරුමක්කාරයන් නැත්තාහු අක් සුන් තල් රුක් වැනි වන්නාහ. එ බැවින් තමාගේ අර්ථය දක්නා වූ පණ්ඩිත පුරුෂ තෙමේ සර්පයා කෙරෙහි ද, ගින්න කෙරෙහි ද, රාජ කුමාරයා කෙරෙහි ද, සිල්වත් භික්ෂුව කෙරෙහි ද මනා කොට හැසිරෙන්නේ ය යනුයි.

භික්ෂූන් වහන්සේ වනාහි නාගාදීන් මෙන් ස්වකීය තේජසින් අන්‍යයන් දවන්නා වූ කෙනෙක් නොවෙති. උන්වහන්සේ බණින්නා හට පෙරළා නො බණින්නා වූ, කලහයට එන්නා හා කලහයට නො යන්නා වූ, සන්සුන් පැවතුම් ඇත්තා වූ, ඉවසන්නා වූ කෙනෙකි. ගුණවත් වූ උන්වහන්සේට අපරාධ කිරීමෙන් මහත් වූ පාපයක් අත් කර ගැනීමෙන් තෙමේ ම දැවෙන්නේ ය. දුකට පත්වන්නේ ය. බුදුන් වහන්සේ “භික්ෂු තෙම අපරාධකාරයාව තමන්ගේ තේජසින් දවන්නේ ය” යි වදාළේ භික්ෂුව නිසා අපරාධකාරයා දැවෙන බැවිනි. වරද කරන්නා වූ භික්ෂූන්ට අපහාසාදිය කිරීමෙන් පවක් නො වෙති යි ඇතමුන් සිතතත් එය එසේ නො වේ. කෙතරම් දුශ්ශීල භික්ෂුවකට වුව ද අපහාස කිරීම නුසුදුසු ය. එ බඳු භික්ෂූන් ගැන ගිහියන් විසින් කළ යුත්තේ වර්ජනය කිරීම ය.

“අට්ඨහි භික්ඛවේ, ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනෝ ආකඞ්ඛමානා අප්පසාදං පවෙදෙය්‍යුං, කතමෙහි අට්ඨහි? ගිහීනං අලාභාය පරිසක්කති, ගිහීනං අනත්ථාය පරිසක්කති. ගිහීනං අක්කෝසති පරිහාසති, ගිහී ගිහීහි භේදේති. බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, අගොචරේ ච නං පස්සන්ති, ඉමේහි ඛෝ භික්ඛවේ අට්ඨහි ධම්මේහි සමන්නාගතස්ස භික්ඛුනෝ ආකඞ්ඛමානා උපාසකා අප්පසාදං පවේදෙය්‍යුං”

යනුවෙන් ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූ ද, ගිහියන් ගිහියන් හා බිඳවන්නා වූ ද, බුදුන්ගේ අගුණ කියන්නා වූ ද, ධර්මයේ අගුණ කියන්නා වූ ද, සංඝයාගේ අගුණ කියන්නා වූ ද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූ ද, භික්ෂූන්හට කැමති නම් අප්‍ර‍සාදය දැක්වීමට තථාගතයන් වහන්සේ විසින් උපාසකවරුන්ට අනුදැන වදාරා තිබේ. අප්‍ර‍සාදය දැක්වීම යනු ඒ භික්ෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කළ හුනස්නෙන් නොනැඟී සිටීම, පෙර ගමන් නො කිරීම, නො වැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නො සතුට දැක්වීම ය.

මෙතෙකින් රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය

යුතු ආකාරය සැකෙවින් දැක්වීම නිමියේ ය.

චෛත්‍යයෝ

ලෝකයා විසින් ආදරය කරනු ලබන්නා වූ ගරු බුහුමන් කරනු ලබන්නා වූ වැඳුම් පිදුම් කරනු ලබන්නා වූ උත්තම වස්තූහු චෛත්‍ය නම් වෙති. ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේසික චෛත්‍යය යි බුදුන් වහන්සේ පිළිබඳ චෛත්‍ය තුන් වර්ගයෙකි. බුදුන් වහන්සේගේ ශරීරයෙන් ඉතිරි ව ඇති ධාතු සමූහය ශාරීරික චෛත්‍ය නම් වේ. උන් වහන්සේ පරිභෝග කළ පා-සිවුරු ආදි වස්තු හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද, ඒ බෝධීන් වහන්සේ ගෙන් පැවතෙන බෝධීන් වහන්සේලා ද පාරිභෝගික චෛත්‍යයෝ ය. උන් වහන්සේ උදෙසා වැඳුම් පිදුම් කිරීමට කරන ලද ප්‍ර‍තිමා රූපයෝ උද්දේසික චෛත්‍යයෝ ය.

සර්වඥ ධාතූන් වහන්සේලා

පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහන කිරීමේ දී සම් මස් නහර සියල්ල කිසිවක් ශේෂ නො වී කපුරු මෙන් දා ගියේ ය. අස්ථීහු නොදා හුණු වී කුඩා කැබලි බවට පරිවර්තනය වූහ. වෙන් නොවී ඉතිරි වූ ධාතූන් වහන්සේලා සත් නමෙකි. ඔවුහු නම් : දළදා සතර නම ය, අකුදා දෙ නමය, ලලාට ධාතූන් වහන්සේය යන මේ ධාතූන් වහන්සේලා ය. විසුරුණා වූ ධාතූන් වහන්සේලාගෙන් මහත් ධාතූහු මුං පියලි පමණ වෙති. මධ්‍යම ධාතූහු කඩ සාල් පමණ වෙති. කුඩා ධාතූහු අබ ඇට පමණ වෙති. පැහැයෙන් මහත් ධාතූන් වහන්සේලා රත්තරන් පැහැ ඇත්තාහ. මධ්‍යම ධාතූන් වහන්සේලා මඳක් රත් පැහැ ඇත්තාහ. කුඩා ධාතූන් වහන්සේලා මුතු පැහැ ඇත්තාහ.

තථාගත ශරීරයෙන් ශේෂ වූ මහා ධාතූහු දස නැළියක් පමණ වූහ. මධ්‍යම ධාතූන් වහන්සේලා ද එ පමණ ම වූහ. කුඩා ධාතූන් වහන්සේ දොළොස් නැළියක් වූහ.

තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ජාත වූ ඒ ධාතූන් වහන්සේලා ශාසනයාගේ ආයුෂය වූ අවුරුදු පන්දහසක් මුළුල්ලෙහි නො නැසී පැවතී පන්දහස පිරෙන තැන දී සියල්ල ම මහබෝ මැඩට එක් ව බුදුරුවක් වී ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා අතුරුදහන් වන්නාහ.

ලක්දිව ධාතූන් වහන්සේලා හා පාරිභෝගික වස්තු

අපගේ වාස භූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නා වූ ද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූ ද, සර්වඥයන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූ ද උත්තම භූමියෙකි. මහියංගණ චෛත්‍යයෙහි සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති. දකුණු අකු ධාතූන් වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ්හි වැඩ සිටින සේක. උර්ණරෝම ධාතූන් වහන්සේ මිහින්තලයේ සේල චෛත්‍යයෙහි වැඩ සිටිති. ලලාට ධාතූන් වහන්සේ හා කේශ ධාතූන් වහන්සේලා ද සේරුවාවි මංගල චෛත්‍යයෙහි වැඩ සිටිති. අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයෙහි ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටිති. දන්ත ධාතූන් වහන්සේ මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටිති. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැනි වර්ෂයේ සුමන සාමණේරයන් වහන්සේ විසින් බුදුන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර‍ය හා එය පුරා ධාතුන් වහන්සේලා ද මේ දිවයිනට ගෙනෙන ලදහ. ඒ ධාතූන් වහන්සේලා මේ දිවයිනේ නොයෙක් දිශාවල දාගැබ් ආදියෙහි වැඩ සිටිති. පාත්‍ර‍ ධාතුව ගෙන ආ බව මුත් දැනට වැඩ සිටින තැනක් අසන්නට නැත. සර්වඥයන් වහන්සේ පරිභෝග කළ පටියෙන් කොටසක් අනුරාධපුරයේ ජේතවන චෛත්‍යයෙහි පිහිටා තිබේ. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මැණික් පුටුවක් නිදන් කොට නාගදීප චෛත්‍යය කරවන ලදි. නාගදීපයේ පුරාණ චෛත්‍යයක් දැනට දක්නට නැත. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මිණිපලඟක් කල්‍යාණි චෛත්‍යයේ පිහිටා තිබේ. එහි ම තථාගතයන් වහන්සේ පරිභෝග කළ ජල සාටිකාවක් ද ඇති බව කියති. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ පිහිටා තිබේ. ලක්දිව තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැදී සිටීමෙන් පරිභෝග කළ ස්ථාන ද සොළොසෙකි.

ඔවුහු නම් :

  1. මහියඞ්ගණ චෛත්‍යය පිහිටි තැන ය.
  2. නාගදීප චෛත්‍යය පිහිටි තැන ය.
  3. කල්‍යාණි චෛත්‍යය පිහිටි තැන ය.
  4. සමන්තකූට පර්වත මුදුන ය.
  5. දිවාගුහාව ය.
  6. දීඝවාපි චෛත්‍යය පිහිටි තැන ය.
  7. මුතියංගන චෛත්‍යය පිහිටි තැන ය.
  8. තිස්සමහාරාම චෛත්‍යය පිහිටි තැන ය.
  9. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි තැන ය.
  10. මිරිසවැටි සෑය පිහිටි තැන ය.
  11. රුවන්වැලි මහසෑය පිහිටි තැන ය.
  12. ථූපාරාමය පිහිටි තැන ය.
  13. අභයගිරිය පිහිටි තැන ය.
  14. ජේතවනය පිහිටි තැන ය.
  15. සේල චෛත්‍යය පිහිටි තැන ය.
  16. කතරගම කිරි වෙහෙර පිහිටි තැන ය.

යන මේ ස්ථානයෝ ය.

උපාසකත්වය ගැන දැන ගත යුතු කරුණු

“යතො ඛො මහානාම බුද්ධං සරණං ගතො හොති. ධම්මං සරණං ගතො හොති, සංඝං සරණං ගතො හොති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හොති” යි වදාළ පරිදි යමෙක් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, එපමණින් හෙතෙම උපාසකයෙක් වන්නේ ය. උපාසක යන වචනයේ තේරුම බුද්ධ, ධර්ම, සංඝ යන රත්නත්‍ර‍ය කරා එළඹෙන, රත්නත්‍ර‍ය ඇසුරු කරන තැනැත්තා යනුයි.

උපාසක චණ්ඩාලයා

“පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසක චණ්ඩාලො ච හොති උපාසක මලං ච උපාසක පතිකිට්ඨෝ ච, කතමෙහි පඤ්චහි? අස්සුද්ධො හොති, දුස්සීලො හොති, කෝතුහල මංගලිකො හොති, මංගලං පච්චෙති නො කම්මං. ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවෙසති. තත්ථ ච පුබ්බකාරං කරොති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකචණ්ඩාලො ච හොති උපාසක මලං ච උපාසක පතිකිට්ඨො ච”.

මෙහි තේරුම මෙසේ ය:

මහණෙනි! අංග පසකින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක චණ්ඩාලයෙක් ද වෙයි. උපාසක මලයෙක් ද උපාසක හීනයෙක් ද වෙයි. කවර අංග පසකින්ද යත්?

  1. ශ්‍ර‍ද්ධාව නැත්තේ වේද?
  2. දුශ්ශීලයෙක් වේ ද?
  3. අසන දකින දේවල හොඳ නරක දෙකින් ශුභාශුභ සිද්ධි වෙතැයි පිළිගන්නේ වේ ද?
  4. කෝතුහල මංගල නම් වූ අසන දකින දේවලින් ශුභාශුභ වන බව ම සලකා කර්මය නො සලකන්නේ වේ ද?
  5. බුදුසසුනෙන් පිටත දක්ෂිණේයයන් (පින් පිණිස දීමට සුදුස්සන්) සොයා ද, එහි ම පළමුකොට දේ ද, මහණෙනි මේ අංග පසින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක චණ්ඩාලයෙක් ද වේ, උපාසක මලයෙක් ද උපාසක හීනයෙක් ද වේ.

උපාසක රත්නය

“පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හෝති, උපාසකපදුමඤ්ච උපාසක පුණ්ඩරිකෝ ච. කතමෙහි පඤ්චහි? සද්ධො හොති, සීලවා හොති, අකොතුහලිකමංගලිකො හොති. කම්මං පච්චෙති නො මංගලං, න ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවේසති, ඉධ ච පුබ්බකාරං කරොති, ඉමෙහි ඛො භික්ඛවේ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හොති, උපාසක පදුමඤ්ච උපාසක පුණ්ඩරිකෝ ච”

මෙහි අදහස මෙසේ ය:-

මහණෙනි, ධර්ම පසකින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක් ද වේ. උපාසක පද්මයක් ද වේ. උපාසක පුණ්ඩරිකයක් ද වේ. කවර ධර්ම පසකින් ද යත්?

  1. ශ්‍ර‍ද්ධාව ඇත්තේ වෙයි.
  2. සිල් ඇත්තේ වෙයි.
  3. අසන දකින දේවල හොඳ නරකින් ශුභාශුභ සිද්ධි වෙතැයි නො ගන්නේ වෙයි.
  4. කර්මය සලකයි. මංගල්‍යය නො සලකයි.
  5. බුදුසස්නෙන් පිටත පිනට දීමට සුදුස්සන් නො සොයයි. පළමු කොට ශාසනයට ම දෙයි.

මහණෙනි, මේ ධර්ම පසින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක් ද වෙයි. උපාසක පද්මයක් ද, උපාසක පුණ්ඩරිකයක් ද වෙයි.

මෙහි පද්ම ය යි කියනුයේ රත් නෙළුම් මලට ය. පුණ්ඩරික ය යි කියනුයේ සුදු නෙළුම් මලට ය. ඇතැම්හු උදෑසන අසන්නට දකින්නට ලැබෙන දේවලින් හා කටයුත්තකට යන කල්හි පෙර මග දක්නට ලැබෙන දේ වලින් ද මනුෂ්‍යයා හට ශුභාශුභ සිදු වෙතැයි ගනිති. කෝතුහල මංගලිකෝය යි කියනුයේ ඔවුන්ට ය. එය බෞද්ධයන් නො පිළිගත යුත්තකි.

උපාසක ගුණ දශය

“දසිමෙ මහාරාජ, උපාසකස්ස උපාසක ගුණා. කතමෙ දස? ඉධ මහාරාජ, උපාසකො සංඝෙන සමාන සුඛ දුක්ඛෙ, ධම්මාධිපතෙය්‍යො විහරති යථාබලං සංවිභාගරතො හොති. ජිනසාසන පරිහානිං දිස්වා අභිවුද්ධිං වායමති, සම්මා දිට්ඨිකෝ හොති. අපගත කොතුහල මංගලිකො ජීවිත හෙතුපි න අඤ්ඤං සත්ථාරං උද්දිසති. කායිකං වාචසිකං ච රක්ඛිතං හොති. සමග්ගාරාමො හොති සමග්ගරතො, අනුසුය්‍යකො හොති, න ච කුහක වසෙන සාසනෙ චරති, බුද්ධං සරණං ගතො හොති. ධම්මං සරණං ගතො හොති. සංඝං සරණං ගතො හොති. ඉමෙ ඛො මහාරාජ, දස උපාසකස්ස උපාසක ගුණාති.”

මෙය, නාගසේන ස්ථවිරයන් වහන්සේ විසින් මිළිඳු මහරජුට වදාරන ලද්දකි. එහි තේරුම මෙසේ ය.

මහරජ, මේ කරුණු දශය උපාසකයාගේ උපාසක ගුණයෝ ය. කවර දශයක් ද යත්? මහරජ, මේ ශාසනයෙහි උපාසක තෙමේ:

  1. සංඝයා හා සමාන සුවදුක් ඇත්තේ ධර්මය අධිපති කොට ඇත්තේ වෙයි.
  2. දන්දීමෙහි ඇලුණේ වෙයි.
  3. සර්වඥ ශාසනයාගේ පිරිහීම දැන එය නගා සිටවීමට උත්සාහ කරන්නේ වෙයි.
  4. දුරු කරන ලද කෝතුහල මංගල ඇත්තේ සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි.
  5. ජීවිතය නිසාවත් සර්වඥයන් වහන්සේගෙන් අනෙකකු තමාගේ ශාස්තෘවරයා වශයෙන් නො දක්වන්නේ වෙයි.
  6. කායකර්ම වාක්කර්මයන් ආරක්ෂා කරන්නේ වෙයි.
  7. සමගියෙහි ඇලුණේ වෙයි.
  8. ඊර්ෂ්‍යා නො කරන්නේ වෙයි.
  9. අන්‍යයන් රැවටීමට සර්වඥ ශාසනයෙහි හැසිරෙන්නේ නො වෙයි.
  10. බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සංඝයා සරණ ගියේ වෙයි.

මහරජ, මේ කරුණු දශය උපාසකයාගේ උපාසක ගුණයෝ ය.

තමාගේ හා අන්‍යයන්ගේ ද යහපත පිණිස පිළිපන් උපාසකතුමා

“යතො ඛො මහානාම උපාසකො අත්තනාව සද්ධා සම්පන්නෝ හොති. පරඤ්ච සද්ධා සම්පදාය සමාදපෙති. අත්තනාව සීලසම්පන්නො හොති පරඤ්ච සීල සම්පදාය සමාදපෙති. අත්තනාව චාගසම්පන්නො හොති. පරඤ්ච චාගසම්පදාය සමාදපෙති. අත්තනාව භික්ඛුනං දස්සනකාමො හොති, පරඤ්ච භික්ඛුදස්සනෙ සමාදපෙති. අත්තනාව සද්ධම්මං සොතුකාමො හොති, පරඤ්ච ධම්මස්සවනෙ සමාදපෙති. අත්තනාව සුතානං ධම්මානං ධාරණජාතිකො හොති, පරඤ්ච ධම්මධාරණාය සමාදපෙති, අත්තනාව ධතානං ධම්මානං අත්ථුපපරික්ඛී හොති, පරඤ්ච අත්ථුපපරික්කාය සමාදපෙති, අත්තනාව අත්ථ මඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නො හොති, පරඤ්ච ධම්මානුධම්ම පටිපත්තියා සමාදපෙති. එත්තාවතා ඛො මහානාම උපාසකො අත්තහිතාය ච පටිපන්නෝ පරහිතාය චා ති.”

මෙහි අදහස මෙසේ ය:

  1. මහානාමය! මේ සස්නෙහි උපාසක තෙමේ ශ්‍ර‍ද්ධාවෙන් යුක්ත වූයේ අනුන් ශ්‍ර‍ද්ධා සම්පත්තියෙහි පිහිටවා ද,
  2. තෙමේ ද, සිල් ඇත්තේ අනුන් ද සීලසම්පත්තියෙහි පිහිටවා ද,
  3. තෙමේ ද දෙන ස්වභාවයෙන් යුක්ත වූයේ අනුන් ද දෙන ස්වභාවයෙහි පිහිටවා ද,
  4. තෙමේ ද භික්ෂූන් දකිනු කැමැත්ත ඇත්තේ අනුන් ද භික්ෂූන් දැකීමෙහි යොදවා ද,
  5. තෙමේ ද සදහම් අසනු කැමැත්තේ අනුන් ද දහම් ඇසීමෙහි යොදවා ද,
  6. තෙමේ ද ඇසූ ධර්මයන් දරන ස්වභාවය ඇත්තේ අනුන් ද දහම් දැරීමෙහි යොදවා ද,
  7. තෙමේ ද දරන ධර්මයේ අර්ථ පරීක්ෂා කරන්නේ අනුන් ද ධර්මයේ අර්ථ පරීක්ෂාවෙහි යොදවා ද,
  8. තෙමේ ද ධර්මයට අනුකූල පිළිවෙත්හි යෙදුණේ අනුන් ද ධර්මයට අනුකූල පිළිවෙත්හි යොදවා ද,

මහානාමය, මෙතෙකින් උපාසක තෙමේ තමාගේ යහපත පිණිස පිළිපන්නේ වෙයි. මෙරමාගේ යහපත පිණිස ද පිළිපන්නේ වෙයි.

භික්ෂූන් වහන්සේ විසින් නො යා යුතු කුලය.

“නවහි භික්ඛවේ අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං. උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං. කතමෙහි නවහි? න මනාපේන පච්චුට්ඨෙන්ති. න මනාපේන අභිවාදෙන්ති. න මනාපේන ආසනං දෙන්ති. සන්තමස්ස පතිගූහන්ති. බහුකම්පි ථෝකං දෙන්ති. පණිතම්පි ලූඛං දෙන්ති. අසක්කච්චං දෙන්ති නො සක්කච්චං. න උපනිසීදන්ති ධම්මසවනාය, භාසිතස්ස න රසීයන්ති ඉමෙහි ඛෝ භික්ඛවේ නවහි අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා. නාලං උපගන්තුං වා උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං.”

මෙහි අදහස මෙසේ ය.

මහණෙනි, අංග නවයකින් යුක්ත වූ කුලය (පවුල) නො එළඹියේ නම් එළඹීමට ද, එළඹියේ නම් වැද හිඳීමට ද නුසුදුසු ය. කවර අඞ්ග නවයකින් ද යත්?

  1. භික්ෂූන් වහන්සේ දුටු කල්හි සතුටින් හුනස්නෙන් නො නැගී සිටිත් ද,
  2. සතුටින් නො වඳිත් ද,
  3. සතුටින් ආසනයක් නො දෙත් ද,
  4. ඇත්තා වූ දෙය සඟවත් ද,
  5. බොහෝ ඇත ද ස්වල්පයක් දෙත් ද,
  6. ප්‍ර‍ණීත දෑ ඇත ද අප්‍ර‍ණීත දෙයක් දෙත් ද,
  7. නො මනා කොට දෙත් ද,
  8. ධර්මශ්‍ර‍වණයට එළඹ නො හිඳිත් ද,
  9. දේශනය කරන ධර්මයට සතුටු නො වෙත් ද,

මහ‍ණෙනි! මේ නවයක් වූ අංගයන්ගෙන් යුක්ත වූ කුලය නො එළඹියේ නම් එළඹීමට ද එළඹියේ නම් වැද හිඳීමට ද සුදුසු නො වන්නේ ය.

පත්ත නික්කුජ්ජන කර්මය

පත්ත නික්කුජ්ජන කර්මය යනු නො හික්මුනා වූ ගිහියන් හික්මවීම පිණිස බුදුන් වහන්සේ විසින් පනවන ලද දඬුවමකි. එය පළමු කොට පනවන ලද්දේ දබ්බමල්ල ස්ථවිරයන් වහන්සේට බොරු චෝදනාවක් ඇති කළ වඩ්ඪ නම් වූ ලිච්ඡවී පුත්‍ර‍යාට ය. ඒ දඬුවම පැමිණවීමට සුදුසු වරද අටක් ඇත්තේ ය. ඒ මෙසේ ය.

“අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තො නික්කුජ්ජිතබ්බො, භික්ඛූනං අලාභාය පරිසක්කති. භික්ඛූනං අනත්ථාය පරිසක්කති. භික්ඛූනං අවාසාය පරිසක්කති. භික්ඛූනං අක්කෝසති පරිභාසති, භික්ඛු භික්ඛූහි භෙදෙති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති. සඞ්ඝස්ස අවණ්ණං භාසති. අනුජානාමි භික්ඛවේ ඉමෙහි අට්ඨහි අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තං නික්කුජ්ජිතුං”

එහි තේරුම මෙසේ ය:

මහණෙනි! අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කළ යුත්තේ ය.

  1. භික්ෂූන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේ ද?
  2. භික්ෂූන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේ ද?
  3. භික්ෂූන් වහන්සේලාට ආවාසයන්හි නො විසිය හැකි වනු පිණිස උත්සාහ කෙරේ ද?
  4. භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරේ ද,
  5. භික්ෂූන් භික්ෂූන් හා බිඳවා ද,
  6. බුදුන්ගේ අගුණ කියා ද,
  7. ධර්මයේ අගුණ කියා ද,
  8. සංඝයාගේ අගුණ කියා ද,

මහණෙනි, මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කිරීමට අනුදනිමි.

පත්ත නික්කුජ්ජන යන වචනයේ තේරුම පාත්‍ර‍ය මුනින් නැවීමය යනු යි. යම්කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කෙළේ නම් එකල්හි සංඝයා රැස්ව කර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ යුතු ය. එය කළ පසු ඒ තැනැත්තා හට සියලු ම භික්ෂූන් විසින් පාත්‍ර‍ය මුනින් නවන ලද්දේ වේ. එකම භික්ෂුවකටවත් ඉන් පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නො හැකිය. කර්මය කරනු ලැබූ උපාසක තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටිය හොත් නැවත සංඝයා රැස් ව ඒ කර්මය සන්සිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂූන්ට සිව්පසය පිළිගැන්වීමට අවකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මෙ පමණ ය.

උපාසකවරුන් විසින් නො කළ යුතු වෙළඳාම් පස.

“පඤ්චිමානි භික්ඛවේ වණිජ්ජානි උපාසකේන අකරණීයානි. කතමානි පඤ්ච? සත්ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංසවණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා, ඉමානි ඛෝ භික්ඛවෙ පඤ්ච වණිජ්ජානි උපාසකේන අකරණියානි”.

අදහස :

මහණෙනි! වෙළඳාම් පසෙක් උපාසකයා විසින් නො කළ යුත්තේ ය. කවර පසෙක් ද යත්? ආයුධ වෙළෙඳාම ය, වහල් වෙළඳාම ය, මස් වෙළඳාම ය, මත්පැන් වෙළඳාම ය, විෂ වෙළඳාම ය යන මොහු ය. මහණෙනි, මේ වෙළඳාම් පස උපාසකයා විසින් නො කළ යුත්තේ ය.

දශ අකුශලය

  1. ප්‍රාණාතිපාතය
  2. අදත්තාදානය
  3. කාමමිථ්‍යාචාරය
  4. මෘෂාවාදය
  5. පිශුන වචනය
  6. පරුෂ වචනය
  7. සම්ඵප්‍ර‍ලාපය
  8. අභිධ්‍යාව
  9. ව්‍යාපාදය
  10. මිථ්‍යාදෘෂ්ටිය

යන මොහු දශ අකුශල කර්ම පථයෝ ය.

1. ප්‍රාණාතිපාත අකුශලය

සත්ත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නො දී යම්කිසි උපක්‍ර‍මයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. ප්‍රාණඝාතය යනු එයට ම නමෙකි. ප්‍රාණාතිපාත කර්මය අංග පසක් ඇත්තේ ය.

“පාණෝ හවෙ පාණසඤ්ඤි - වධකචිත්ත මුපක්කමෝ

තේන ජීවිතනාසෝ ච - අංගා පඤ්ච වධස්සිමේ”

(1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය (5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. මේ පඤ්චාංගය සම්පූර්ණ නො වී, කෙනකු නිසා සත්ත්වයකුගේ මරණය සිදු වුව ද ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නො වේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරනු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය නො වේ. සත්ත්වයෝ මැරෙත්වා යි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළ හොත් එසේ කළ තැනැත්තාට මල සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදු වේ.

යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්ත්වයා නො මළේ නම්, එයින් ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. වෙඩි වැදුණු සත්ත්වයා අවුරුදු ගණනකින් වුව ද, ඒ වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ කෙණෙහි ම, සත්ත්වයා මැරෙන්නට කලින් ම ප්‍රාණඝාත කර්මය සිදු වේ. මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්ත්වයකු එකෙණෙහි ම මිය ගියේ ද, පහර ගැසූවහුට ප්‍රාණඝාත කර්මය නො වේ. මරණ අදහස නැති බැවිනි. සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්මාදි ක්‍රියාවකින් මිය ගියේ ද ප්‍රාණඝාත කර්මය නො වේ.

ප්‍රාණඝාතයේ ප්‍රයෝගයෝ

“සාහත්ථිකො ආණත්තිකෝ - නිස්සග්ගියො ච ථාවරො

විජ්ජාමයො ඉද්ධිමයො - පයොගා ඡබ්බිධා මතා”

  1. ස්වාහස්තික ප්‍රයෝගය
  2. ආඥා ප්‍රයෝගය
  3. නිස්සර්ගික ප්‍රයෝගය
  4. ස්ථාවර ප්‍රයෝගය
  5. විද්‍යාමය ප්‍රයෝගය
  6. සෘද්ධිමය ප්‍රයෝගය

යි ප්‍රාණාතිපාතය පිළිබඳ ප්‍රයෝග සයෙකි. ප්‍රයෝගය යනු සිදු කිරීමට කරන උත්සාහය ය.

  1. මරනු සඳහා ගැසීම්, කැපීම්, ඇනීම් ආදි සියතින් ම කරන්නා වූ ව්‍යායාම ස්වාහස්තික ප්‍රයෝග නම් වේ.
  2. සියතින් නො මරා අනෙකකු ලවා කරවීම ආඥා ප්‍රයෝග නම් වේ.
  3. ගල් ගැසීම, පොලු දමා ගැසීම, ආයුධ දමා ගැසීම, වෙඩි තැබීම යනාදි වශයෙන් යම් කිසිවක් තමා ගේ අතින් මුදා සත්ත්වයකුගේ ශරීරයට යැවීම් වශයන් කරන්නා වූ උත්සාහය නිස්සර්ගික ප්‍රයෝග නම් වේ.
  4. උගුල් ඇටවීම, හුල් සිටවා තැබීම, තුවක්කු බැඳ තැබීම, වලවල් සාරා තැබීම යනාදිය ස්ථාවර ප්‍රයෝග නම් වේ.
  5. අංගම් පිඹීම, සූනියම් කිරීම, පිල්ලි යැවීම ආදි වූ විද්‍යාවකින් කරන්නා වූ උත්සාහය විද්‍යාමය ප්‍රයෝග නම් වේ.

ඇතැම් සත්ත්වයනට අනුන් නැසිය හැකි සෘද්ධි උත්පත්තියෙන් ම පිහිටා තිබේ. බොහෝ සෙයින් එබඳු සෘද්ධි ඇත්තෝ අමනුෂ්‍යයෝ ය. ඔවුනට තමාගේ ශරීරය දැක්වීමෙන් ද, බිය ගෙන දෙන වෙස් මවා දැක්වීමෙන් ද, බිය ගන්වා මනුෂ්‍යාදි සත්ත්වයන් මැරිය හැකිය. ඒ ඔවුන්ගේ සෘද්ධිය ය. එ බඳු සෘද්ධියකින් කරන්නා වූ උත්සාහය සෘද්ධිමය ප්‍රයෝග නම් වේ. මේ සයක් වූ ප්‍රයෝගයන් අතුරෙන් කවර ප්‍රයෝගයකින් වුව ද මැරුවහොත් ප්‍රාණඝාත පාපය සිදු වේ.

ආඥා ප්‍රයෝග ගැන දත යුතු කරුණු

“වත්ථු කාලො ච ඔකාසො - ආයුධං ඉරියාපථං

කිරියා විසෙසොතිමෙ - ඡ ආණත්ති නියාමකො”

වස්තුව ය, කාලය ය, අවකාශය ය, ආයුධය ය, ඉරියව්ව ය, ක්‍රියා විශේෂය ය යන මේ කරුණු සය ඇණවීම සම්බන්ධයෙන් දත යුතු ය.

  1. වස්තුව යනු මරනු ලබන තැනැත්තා ය. මරන්නට අණ කරන්නා වූ තැනැත්තා යම් සත්ත්වයෙක් මරන්නට නියම කරන ලද්දේ නම්, අණ ලැබූ තැනැත්තා විසින් නො වරදවා ඒ සත්ත්වයා ම මැරුව හොත් අණ කළා වූ ද මැරුවා වූ ද දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. නියමය ලැබූ තැනැත්තා වරදවා අන්‍ය සත්ත්වයකු මැරුවහොත් මැරූ තැනැත්තාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදු වේ. අණ කළ තැනැත්තා නිදහස් වේ.
  2. කාලය යනු රාත්‍රී කාල දිවා කාලාදිය ය. අණ කරන තැනැත්තා රාත්‍රී කාලයේ දී මරන්නට අණ කල කල්හි මරණ තැනැත්තා කාලය වරදවා දවාලෙහි මැරුව හොත් කර්මය මැරූ තැනැත්තාට ම වේ. අණ කළ තැනැත්තා මිදේ. නියම කළ වේලාවේ ම මැරුව හොත් දෙදෙනාට ම පාපය වේ.
  3. අවකාශය යනු මැරීම කරන තැනය. යම් තැනක සිටින සත්ත්වයකු මරන්නට අණ කළ කල්හි, අණ ලැබූ තැනැත්තා විසින් ඒ නියම කළ තැන ම සිටින සත්ත්වයා මැරුව හොත් දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. වරදවා අන් තැනක සිටින සත්ත්වයකු මැරුව හොත් මැරූ තැනැත්තාට ම කර්මය හිමි වේ.
  4. ආයුධය යනු මැරීම සඳහා පාවිච්චි කරන ආයුධය ය. අණ කරන්නා පිහියකින් ඇණ මරන්නට නියම කළ කල්හි, අණ ලැබූ තැනැත්තා එසේම කළ හොත් දෙදෙනාට ම කර්මය හිමි වේ. අන් ක්‍ර‍මයකින් මැරුවහොත් අණ කළ තැනැත්තා මිදේ.
  5. ඉරියවුව යනු මරනු ලබන සත්ත්වයා සිටින ඉරියවුව ය. නිදා සිටිය දී මරන්නට නියම කරනු ලැබූ තැනැත්තා විසින් සත්ත්වයා ගමන් කරද්දී මැරුව හොත් අණ කළ තැනැත්තා මිදේ. නිදා සිටියදී ම මැරුව හොත් මරවන මරන දෙදෙනාට ම කර්මය හිමි වේ.
  6. ක්‍රියා විශේෂය යනු මරනු සඳහා කරන උපක්‍ර‍මය යි. වෙඩි තබා මරන්නට අණ කළ කල්හි අණ ලැබූ තැනැත්තා එසේ ම කළ හොත් මරවන මරන දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. අන් ක්‍ර‍මයකින් මැරුව හොත් මැරූ තැනැත්තා පමණක් කර්මයට හිමි වේ.

ස්ථාවර ප්‍රයෝගය ගැන දත යුතු කරුණු

යම් සත්ත්වයකු මරනු පිණිස උගුල් ඇටවීම් ආදි ස්ථාවර ප්‍රයෝගයක් කරන ලද කල්හි ඒ සත්ත්වයාගේ මරණයෙන් ම ප්‍රයෝගය කළ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය වේ. අන් සත්ත්වයෙක් හසු වී මළේ ද ප්‍රාණඝාත කර්මය සිදු නො වේ. නියමයක් නැති ව ඇටවූ උගුලට හසු වී කවර සත්ත්වයකු වුව ද මළ හොත් ප්‍රාණඝාත කර්මය වේ. නියමයක් නැතිව සතුන් මැරීමට වළක් කපා තැබුව හොත්, ඒ වළ පවත්නා තුරු ම එහි වැටී මැරෙනා සත්ත්ව ගණනට ප්‍රාණඝාත කර්ම වළ කැණුවහුට වේ.

මා පියන් මැරීම

මනුෂ්‍ය ජාතික දරුවකු විසින් මනුෂ්‍ය වූ ම තමාගේ මව හෝ පියා මැරුව හොත් දෙවන ජාතියේ නො වැරදී ම විපාකය ලබන්නට සිදු වන බැවින් ආනන්තර්‍ය්‍ය කර්ම නම් වූ මාතෘඝාත පීතෘඝාත කර්ම සිදු වේ. සමහර කෙනකුට මාපිය දෙදෙනාගෙන් එකෙක් තිරිසන් විය හැකි ය. මනුෂ්‍ය ජාතික දරුවා විසින් ඒ තිරශ්චීන මව හෝ පියා මැරීමෙන් ආනන්තර්‍ය්‍ය කර්මය සිදු නොවේ. තිරිසන් දරුවකුට මනුෂ්‍ය වූ ම හෝ පියා මැරීමෙන් ආනන්තර්‍ය්‍ය කර්මයක් නො වේ. එයින් ඔහුට බරපතල අකුශලයක් පමණක් වේ. මනුෂ්‍යයකු විසින් නො දැන ස්වකීය මව හෝ පියා හෝ මැරුයේ ද, ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. මේ කරුණ පැහැදිලි කිරීම පිණිස ඒලක චතුෂ්කය ය, චෞර චතුෂ්ක ය ය, සංග්‍රාම චතුෂ්කය ය, පලාල චතුෂ්කය ය යන චතුෂ්ක සතර දක්වා තිබේ.

යම් කිසි තැනක දවල් එළුවකු නිදනු දැක, රාත්‍රියේ ගොස් ඌ මරන්නට සිතා රාත්‍රියේ ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්ත්වයාට පහර දුන් කල්හි, එ තැන එළුවා නැති ව මව හෝ පියා සිට ඒ පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. ඒ වේලාවේදී “මේ සත්ත්වයා මරමි” යි පහර දුන්නේ මවට හෝ පියාට හෙයිනි. මව හෝ පියා මරන්නට සිතා රාත්‍රියේ ගොස් පහර දුන් කල්හි එතැන මව හෝ පියා නො සිට එළුවකු සිට ඒ පහර වැදී මිය ගියේ ද, පහර දුන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මයක් නොවේ. මා පියන් මරමියි සිතා මා පියන් මරන්නා හට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. එළුවකැයි සිතා එළුවකු මරන්නා හට ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. මේ ඒලක චතුෂ්කය යි.

රාත්‍රී කාලයේ දී සොරෙකැ යි සිතා මව හෝ පියා මරන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මාපියෝ යයි සිතා සොරකු මරන්නා හට ද සොරෙකැයි සිතා සොරකු මරන්නා හට ද ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. මා පියෝ යයි සිතා මා පියන් මරන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මේ චෞර චතුෂ්කය යි.

යුද්ධයක දී සතුරු පක්ෂයේ පියා සිටිනු දැක අන්‍යයන්ට පහර දුන් කල්හි පියා පලායෙති’ යි සිතා අන්‍යයන්ට පහර දෙන කල්හි, පියාට පහර වැදී මළේ ද එයින් ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. පහර දීම පියා මරනු පිණිස කරන ලද්දක් නොවන හෙයිනි. සතුරු පක්ෂයේ පියා සිටිනු දැක ඉදිරියේ සිටින සතුරකුට විද්ද කල්හි, හීය ඔහුගේ සිරුර විනිවිද ගොස් පියාට ද වැදෙන බව දැන, ඉදිරියේ සිටින සතුරාට විද්ද කල්හි, ඔහුගේ ශරීරය විනිවිද ගොස් පියාට වැදී ඔහු මළ හොත් ආනන්තර්‍ය්‍ය කර්මය වේ.

ආයුධය සුද්ධ කර ගනු පිණිස පිදුරු ගොඩක ඇන්න කල්හි මව හෝ පියා එහි සැඟවී සිට ඒ පහර වැදී මිය ගියේ ද, ආනන්තර්‍ය්‍ය කර්මයක් නො වේ. යම් කිසිවකු පිදුරු යට සැඟ වී සිටින බව දැන ඔහු මරමි යි පිදුරු ගොඩට ඇන්න කල්හි පියා හෝ මව එහි සිට මළේ වේ නම් ආනන්තර්‍ය්‍ය කර්මය සිදු වේ.

දුකින් මිදවීමට මැරීම

සමහරු දුක් විඳින සතුන් දුකින් මිදවීමට ය කියා මරා දමත්. එයින් පවක් නො වෙතියි ද ඔවුහු සිතති. අවීචි මහා නරකයෙහි දුක් විඳින සත්ත්වයෝ පවා මරණයට බිය වෙති. සත්ත්වයාහට ජීවිතයට වඩා ප්‍රිය දෙයක් නැත. ඔහුට එය නැතිවීමට වඩා මහත් අන් දුකක් ද නැත. එ බැවින් නිදහස් කිරීමටය කියා සතකු මැරීම ඒ සතාට විඳින දුකට වඩා මහත් දුකක් ඇති කර දීමකි. එ බැවින් එය පාපයකි. දුකින් නිදහස් කිරීමට සතුන් මරන්නෝ අසරණ සතුන් ම මරනු මිස, කොතෙක් දුක් වින්දත් ඔවුන්ගේ මවක හෝ පියකු හෝ සහෝදරයකු හෝ දරුවකු හෝ නො මරති. ඔවුන්ගේ අදහස සාධාරණ එකක් නො වන බව එයින් ම ඔප්පු වේ. මිනිසුන්ට එසේ නො කරනවා නම් තිරිසනුන්ට පමණක් එසේ කිරීම කෙසේ යුක්තියක් වේ ද? නො වේ ම ය. කරුණා සහගත සිතින් කිසි කලෙක සත්ත්වයකු මැරිය හැකි නො වේ. දුඃඛිත සත්ත්වයන් මරන්නන් තුළ ඒ සතුන් ගැන කරුණාවක් ඇතිවන බව සත්‍යයකි. එහෙත් කරුණා සහගත සිතින් සතකු නො මැරිය හැකි ය. සත්ත්වයකු මැරිය හැක්කේ ද්වේෂ සහගත සිතකින් ම ය. ද්වේෂ සහගත සිත සැම කල්හි ම අකුශලයෙකි. මෙ බඳු අවස්ථාවල දී වධක චිත්තය ඇතිවනුයේ කරුණා මුහුණුවර ඇත්තා වූ මන්ද ද්වේෂයෙන් හා බලවත් මෝහයෙන් ද යුක්තව ය. චිත්ත චෛතසික ධර්මයන්ගේ විශේෂ විභාග හා ලක්ෂණ නො දන්නවුන්ට වැටහෙන්නේ ඒ ද්වේෂ සහගත සිත කරුණා සහගත සිතක් සේ ය. දුක් විඳින නිසා හෝ වේවා අන් කරුණක් නිසා හෝ වේවා ප්‍රාණවධයක් කිරීම අකුශලයක් ම බව දත යුතු ය.

සිය පණ නසා ගැනීම ද්වේෂ සහගත සිතින් කළ හොත් පාපයකි. එහෙත් එය දශ අකුශල කර්මපථයට අයත් වූ ප්‍රාණඝාත කර්මය නො වේ. තමාගෙන් අන්‍ය සත්ත්වයකු මැරීමෙන් ම ප්‍රාණඝාත කර්මය වේ. විනයේ සැටියට මිනිසකු මැරුවහොත් භික්ෂුව පාරාජිකාවට පැමිණේ. සිය පණ හානි කර ගැනීමෙන් පැමිණෙන්නේ කුඩා ඇවතකට ය. සිය පණ හානි කර ගැනීම ය, පර පණ හානි කිරීම ය යන දෙකේ මහත් වෙනසක් ඇති බව එයින් ද දත හැකි ය.

ප්‍රාණාතිපාත කර්මයාගේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය

ප්‍රාණඝාත කර්ම සියල්ල ම එකිනෙකට සමාන වන්නේ නොවේ. මරනු ලබන සත්ත්වයන්ගේ ගුණාගුණවල සැටියට ද මැරීමට කරන උපක්‍ර‍මයන්ගේ සැටියට ද ක්ලේශයන්ගේ සැටියට ද ඒවායේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කියනු ලැබේ. මරනු ලබන සත්ත්වයා ගුණවතකු වූ කල්හි කර්මය මහාසාවද්‍ය වේ. ගුණහීනයන් මැරීම අල්පසාවද්‍ය වේ. මාපියන්ගේ හා රහතුන්ගේ ගුණ ඉතා බොහෝ ය. එබැවින් මා පියන් මැරීම හා රහතුන් මැරීම ආනන්තර්‍ය්‍ය කර්‍මය වේ. ආනන්තර්‍ය්‍ය කර්මය කල්පයක් නරකයෙහි දුක් විඳීමට හේතු වන්නකි. බුදුවරයන් වහන්සේලාගේ ජීවිත කිසිවකුට නො නැසිය හැකි බැවින් බුද්ධඝාත කර්මයක් නැත. මරනු ලබන සත්ත්වයන් ගුණයෙන් සම වූ කල්හි මහා ශරීර ඇති සත්ත්වයා මැරීම මහා සාවද්‍ය වේ. මහා ශරීර ඇති සත්ත්වයකු මැරීමට මහත් උපක්‍ර‍මයක් කළ යුතු බැවිනි. උපක්‍ර‍මය අල්ප වන බැවින් කුඩා ශරීරය ඇති සතා මැරීම අල්ප සාවද්‍ය ය. මැරීමෙහි දී ඇති වන ක්‍රෝධය මහත් වන කල්හි කර්මය මහාසාවද්‍ය වේ. ක්‍රෝධය මඳ ක්හි අල්ප සාවද්‍ය වේ. මහාසාවද්‍ය කර්මය මහා විපාක ඇත්තේ ය. අල්පසාවද්‍ය කර්මය අල්ප විපාක ඇත්තේ ය.

ප්‍රාණඝාත කර්මයාගේ විපාක

කර්මයන්ගේ විපාක, ප්‍ර‍තිසන්ධි විපාක ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් දෙ වැදෑරුම් වේ. කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍ර‍තිසන්ධි විපාකය ය. වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍ර‍තිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්‍ර‍වෘත්ති විපාකයෝ ය.

ප්‍රාණඝාත කර්ම ප්‍ර‍තිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි. ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ. තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍ර‍ත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍ර‍මයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි.

2. අදත්තාදාන කර්මය

අනුන් අයත් වස්තුවක් හිමියාට සොරෙන් හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදාන නම් වේ.

(1) අන් සතු වස්තුවක් වීමය, (2) අන් සතු වස්තුවක් බව දැනීම ය (3) පැහැර ගනු කැමති සිතය. (4) පැහැර ගැනීමට උපක්‍ර‍ම කිරීම ය. (5) වස්තුව ගැනීම යයි අදත්තාදානයේ අංග පසෙකි. මේ පඤ්චාංගයෙන් එකකුදු අඩු වුවහොත් අදත්තාදාන කර්මය සිදු නො වේ.

යම්කිසි වස්තුවක් සොර සිතින් ගත්තේ ද, එය හිමියකු නැති වස්තුවක් වේ නම් එයින් අදත්තාදාන කර්මය සිදු නො වේ. හිමියකු ඇති හිමියා විසින් නුදුන් වස්තුවක් වුව ද සොර සිතින් තොර ව හිමියා කෙරෙහි විශ්වාසයෙන් ගතුයේ ද අදත්තාදාන කර්මය නො වේ. අන්සතු වස්තුවක් තමාට අයත් ය යන හැඟීමෙන් ගතුයේ ද අදත්තාදාන පාපය නො වේ.

පස්විසි අවහාරය

අදත්තාදාන කර්මය සිදු කළ හැකි ක්‍ර‍ම පස් විස්සක් ඇති බව දක්වා තිබේ. ඒ පස් විස්ස, පස බැගින් ඇත්තා වූ වර්ග පසකට බෙදා තිබේ. නානා භණ්ඩ පඤ්චකය, ඒක භණ්ඩ පඤ්චකය, සාහස්ථික පඤ්චකය, පුබ්බයෝග පඤ්චකය, ථෙය්‍යාවහාර පඤ්චකය යනු ඒවායේ නාමයෝ ය.

නානා භණ්ඩ පඤ්චකය

  1. අනුන්ට අයිති වස්තුවක් නඩු කියා තමාට අයත් කර ගැනීම එක් අදත්තාදාන ක්‍ර‍මයකි. එසේ කිරීමේ දී වස්තු හිමියා එය තමාට අහිමි වූයේ යයි විනිශ්චයට පැමිණි කල්හි අදත්තාදානය සිදු වේ.
  2. තමා විසින් ගෙන යන්නා වූ අන් සතු භාණ්ඩයක් සොර සිතින් ගැනීම එකකි. අනුන් අයත් යම්කිසි භාණ්ඩයක් ගෙන යන්නා වූ තැනැත්තා විසින් මේ දෙය හිමියාට නො දෙමිය මම ගනිමි’ යි සිතා හිස තුබූ වස්තුව කරට ගැනීම, එක අත තුබූ දෙය අනික් අතට ගැනීම යනාදී වශයෙන් තුබූ තැනින් අන් තැනකට ගන්නා කල්හි අදත්තාදානය සිදු වේ. එසේ කරන ලද භාණ්ඩය පසුව හිමියාට දුන්නේ ද කර්මයෙන් නො මිදේ. ගෙන යන්නා වූ භාණ්ඩය නොදී ගනිමියි සිතුයේ ද තිබෙන තැනින් අන් තැනකට නො ගන්නා තෙක් කර්මය සිදු නොවේ.
  3. තමා වෙත පරෙස්සමට තැබූ අන් සතු වස්තු නො දී ගැනීම එක් අදත්තාදාන ක්‍ර‍මයෙකි. එසේ ගැනීමේ දී හිමියාගේ බලාපොරොත්තු ඇති තාක් අදත්තාදානය සිදු නොවේ. හිමියා ඒ වස්තුව මට නො ලැබේ යයි නිශ්චය කරගත් කල්හි කර්මය සිදු වේ.
  4. අනෙකකු විසින් ගෙන යන්නා වූ අන් සතු වස්තුවක් ඒ ගෙන යන තැනැත්තා ලවා ම අන් තැනකට ගෙන්වා ගැනීම එක් අදත්තාදාන ක්‍ර‍මයෙකි. එසේ කිරීමේ දී ගෙන යන තැනැත්තා පළමු ගමන් කරමින් සිටි මගින් අනික් මඟකට යනු පිණිස එක් පියවරක් තබා දෙ වන පිය එසවූ කල්හි අදත්තාදානය සිදු වේ.
  5. යම්කිසි භාණ්ඩයක් සොර සිතින් තිබෙන තැනින් ගැනීම එක් ක්‍ර‍මයෙකි. එසේ කිරීමේ දී බඩුව තුබූ තැනින් ඔසවනු සමග ම අදත්තාදානය වේ.

ඒක භණ්ඩ පඤ්චකය

  1. අනුන් අයත් සත්ත්වයකු නඩු කියා අයිති කර ගැනීම එක් ක්‍ර‍මයෙකි.
  2. තැනකින් තැනකට ගෙන යන අතර මග දී අන්සතු සත්ත්වයන් සොරා ගැනීම එක් අදත්තාදාන ක්‍ර‍මයෙකි. එසේ කිරීමේ දී කර තබාගෙන යන සත්ත්වයකු අතට ගැනීම ය, එක් අතකින් ගෙන යමින් සිටි සත්ත්වයා අනික් අතට ගැනීමය යනාදීන් සිටි තැනින් වෙනස් කරනු සමඟ ම අදත්තාදානය සිදු වේ. දක්කා ගෙන යන සතකු නොදී ගන්නට සිතා, ගෙන යන මගින් අන් මඟකට දක්කා යැවීමේ දී සත්ත්වයා එක් පියක් ඉදිරියට තබා ඉතිරි පිය එස වූ කල්හි අදත්තාදානය සිදු වේ.
  3. තමා භාරයේ සිටින අන් සතු සත්ත්වයන් නොදී ගැනීම එක් සොරකමෙකි. එසේ කිරීමේ දී හිමියා විසින් ඒ සත්ත්වයා තමාට ආපසු නොලැබේ යයි බලාපොරොත්තුව හළ කල්හි අදත්තාදානය සිදුවේ.
  4. යම් කිසිවෙක් අන් සතු සත්ත්වයකු ගෙන යන කල්හි බිය ගැන්වීම් ආදියෙන් ඔහු ලවා අන් තැනකට ගෙන්වා ගැනීම එක් අවහාරයකි.
  5. අන් සතු සත්ත්වයකු සිටිනා තැනින් සොරකම් කිරීම එක් ක්‍ර‍මයකි. නානා භණ්ඩ පඤ්චකය බඩු පිළිබඳ වූවකි. මේ ඒක භණ්ඩ පඤ්චකය සත්ත්වයන් පිළිබඳ වූවකි. දෙකෙහි වෙනස එපමණ ය.

සාහත්ථික පඤ්චකය

  1. සියතින් ම බඩු සොරකම් කිරීම එක් අවහාරයකි.
  2. අනුන් ලවා සොරකම් කරවීම එක් අවහාරයකි.
  3. ගෙන යන බඩුවලට බදු අය කරන තැනක දී බදු නොගෙවා බඩු ගෙන යනු පිණිස බදු ගන්නා තැනින් පසුව අවුලා ගැනීම සඳහා බඩු පිටතට විසි කිරීම, අනුන්ගේ ගෙයක සිට පසුව අවුලා ගන්නා අදහසින් අන් සතු බඩු පිටතට විසි කිරීම යනාදි වශයෙන් විසි කොට සොරකම් කිරීම එක් අදත්තාදානයෙකි.
  4. අනුන් අයත් කිසියම් වස්තුවක් ඉඩ ලැබුණ විට සොරකම් කිරීමට නියම කර තැබීම එක් ක්‍ර‍මයෙකි. එසේ නියම කළ කල්හි අණ ලැබූ තැනැත්තා විසින් වර්ෂ සියයකින් වුව ද නො වරදවා ඒ සොරකම කරනු ලබන්නේ වේ නම් සොරකම කරවන තැනැත්තාට නියම කළ කෙණෙහි ම අදත්තාදාන කර්මය සිදු වේ.
  5. වස්තු හිමියා රවටා කිසියම් වස්තුවක් ගැන හිමියාගේ ආශාව නැති කරවා ඒ දෙය අයත් කර ගැනීම එක් අදත්තාදාන ක්‍ර‍මයෙකි. අයිතිකාරයා විසින් ඔහුට අයිති බව හොඳින් නො දන්නා ඉඩමක් තමාට අයිති කර ගැනීම පිණිස “මේ ඉඩම ඔබට අයිති නැත. අපට අයිති ඉඩමක් ය” යනාදීන් අයිතිකරුට කියා ඔහුගේ බලාපොරොත්තු නැති කරවා අන් සතු ඉඩමක් ගන්නා තැනැත්තා හට අයිතිකරු මෙය මට අයත් නො වේ ය යි ආශාව හරිනු සමග ම අදත්තාදාන කර්මය සිදු වේ. මේ ක්‍ර‍මය පරෙස්සමට තැබූ බඩු සම්බන්ධයෙන් ද කිය හැකි ය.

පුබ්බයෝග පඤ්චකය

  1. භාණ්ඩ සොරකම් කර ගැනීමට පළමුව ම පූර්ව ප්‍රයෝගයෙන් අදත්තාදාන පාප කර්මය සිදුවීම, ඇත්තා වූ එක් අදත්තාදාන ක්‍ර‍මයෙකි. මෙහි ප්‍රයෝග යයි කියනුයේ අන් සතු වස්තුව ගැනීම පිණිස කරන උත්සාහයටය. අනුන් ලවා සොරකම් කරවීමේ දී කෙනකුට සොරකම් කිරීමට නියෝග කිරීම එක් ප්‍රයෝගයකි. (එක් වැඩකි) නියෝගය ලැබූ තැනැත්තා විසින් බඩුව සොරා ගැනීම එක් ප්‍රයෝගයකි. (එක් වැඩකි) ඒ වැඩ දෙකින් පළමුව සිදු වන්නේ නියෝග කිරීම ය. එබැවින් එයට පූර්ව ප්‍රයෝග ය යි කියනු ලැබේ. යමකුට යම් කිසිවක් සොරකම් කරන්නට නියෝග කළ කල්හි අණ ලැබූ තැනැත්තා නො වරදවා ම එය කරන්නේ වේ නම් සොරකම් කරවන්නා හට නියම කළ කෙණෙහි ම ඒ පූර්ව ප්‍රයෝගයෙන් ම අදත්තාදාන පාපය සිදු වේ.
  2. ප්‍රයෝගය කිරීම සමග ම අදත්තාදාන කර්මය සිදුවීම, ඇත්තා වූ එක් අදත්තාදාන ක්‍ර‍මයෙකි. එය යම්කිසි වස්තුවක් සියතින් ම සොරකම් කිරීමේදී හා මායිම් ලකුණු වෙනස් කොට බිම් සොරකම් කිරීමෙහි දී ද ලැබේ. යම් කිසිවක් සොර සිතින් ගන්නා හට භාණ්ඩය ඔසවනු සමග ම අදත්තාදාන පාපය වේ. ඉඩම් සොරකම් කිරීමේ දී මායිම් ලකුණ වෙනස් කර පිහිට වනු සමග ම අදත්තාදාන කර්මය සිදු වේ.
  3. කීප දෙනකු එක් වී සොරකම් කිරීම එක් ක්‍ර‍මයෙකි. යම්කිසි සොරකමක් කිරීමට කථා කර ගෙන සොරකමට ගිය පිරිසෙන් එකකු විසින් බඩුව ගත් කල්හි සෑම දෙනාට ම අදත්තාදාන කර්මය සිදු වේ.
  4. අසවල් වේලාවේ අසවල් බඩුව ගනුව යි කාල නියමක් කොට සොරකම් කරවීම එක් ක්‍ර‍මයෙකි. එසේ කරවීමේ දී නියෝගය ලැබූ තැනැත්තා විසින් නියමිත කාලය පැමිණි කල්හි එය නොවරදවා ම කරන්නේ නම් නියම කළ තැනැත්තා හට නියෝගය කරන වේලාවේදී ම අදත්තාදාන කර්මය සිදු වේ.
  5. සංඥාවක් කොට සොරකම් කරවීම එක් ක්‍ර‍මයෙකි. මා විසින් අසවල් ආකාරයෙන් සංඥා කරන කල්හි බඩු ගනුව යි කියා බඩුව ඇති තැනට පළමුවෙන් කෙනකු යවා ගැනීමට සුදුසු අවස්ථාව පැමිණි කිල්හි යම් කිසි සංඥාවක් කළ කල්හි ඒ සංඥාවෙන් එතැන සිටින තැනැත්තා බඩුව ගත්තේ වේ නම් ඒ සමග ම සංඥා කරන්නාට ද අදත්තාදාන කර්මය සිදු වේ.

ථෙය්‍යාවහාර පඤ්චකය

  1. අන් සතු වස්තුව හිමියාට නො පෙනෙන සේ ගැනීම හා කිරුම් මිනුම් කිරීමේ දී අඩු වැඩි කොට අන් සතු වස්තුව ගැනීම ද ථෙය්‍යාවහාර නම් වේ.

ඇතැම් වෙළෙන්දෝ බඩු ගන්නා කල්හි වැඩියෙන් අසුවන පරිදි සොර පඩි, සොර තරාදිවලින් බඩු කිරා ගනිති. නියම ප්‍ර‍මාණයට මිස වැඩිපුර අසු කර ගත් කොටසට මුදල් නො දෙන බැවින් වැඩි කොට කිරා ගත් කොටස ගැනීමෙන් ඔවුනට අදත්තාදාන පාපය වේ. විකිණීමේ දී අඩුවෙන් කිරා දී රාත්තලට හොණ්ඩරයකට වැටෙන සම්පූර්ණ මුදල ගන්නවුන්ට වැඩිපුර ගන්නා මුදල නිසා අදත්තාදාන පාපය වේ.

මැන ගන්නා ද්‍ර‍ව්‍ය තමන් ගන්නා කල්හි මහත් වූ භාජනවලින් මැන ගන්නා වූ ද විකුණන කල්හි කුඩා බඳුන්වලින් මැන විකුණන්නා වූ ද කූට වෙළඳුනට ද වැඩිපුර ගන්නා ද්‍ර‍ව්‍ය නිසා ද මුදල් නිසා ද අදත්තාදාන පාපය වේ. දිග මැනීමේ දී ද අදත්තාදානය වන සැටි කියන ලද කරුණු අනුසාරයෙන් තේරුම් ගත යුතු ය.

පලුදු වූ හෝ දිරූ හෝ නො වටිනා බඩු හොඳ බඩු සේ විකුණා මුදල් ගන්නවුන්ට ද, රන් රිදී නො වන දෑ රිදී පාට කර විකුණා මුදල් ගන්නවුන්ට ද, රන් රිදීවලට රන් රිදී නො වන දෑ මිශ්‍ර‍ කොට ශුද්ධ රන් රිදීවල මිලට විකුණා මුදල් ගන්නවුන්ට ද, වටිනා බඩුවක් පෙන්නා, දෙන කල්හි අනෙකක් දී මුදල් ගන්නවුන්ට ද, හොර නෝට්ටු හොර කාසි දී බඩු ගන්නවුන්ට ද එසේ ම අදත්තාදාන පාපය සිදු වේ.

නුවණ නැතියවුන් යම්කිසි උපායකින් රවටා ඔවුන් සතු බඩු හෝ මුදල් ගැනීම ද ථෙය්‍යාවහාරයට ම ඇතුළත් වේ. රවටා වස්තුව ගන්නා ආකාරය දැක්වීමට වැද්දකුගේ පුවතක් දක්වා තිබේ.

ඒ මෙසේ ය:

වැද්දෙක් මහ මුවකු හා මුව පැටවකු විකිණීමට ගෙන ආයේය. එක් කෛරාටිකයෙක් වැද්දා ගෙන් මුවන්ගේ මිල ඇසීය. ලොකු මුවා කහවණු දෙකකට හා මුව පැටවා එක් කහවණුවකට ද දෙමි යි වැද්දා කීය. කෛරාටිකයා එක් කහවණුවක් දී මුව පැටවා ගෙන වැද්දාට මඳක් දුට යන්නට හැර නැවත ද කථා කොට “මුව පැටවා වුවමනා නැත, මහ මුවා ම ගනිමි’යි කීය. වැද්දා කහවණු දෙකක් ඉල්ලීය. එකල්හි කෛරාටිකයා “මම දැන් නුඹට එක් කහවණුවක් දුනිමි. අනික් කහවණුව වෙනුවට මේ මුවා ගනුව’යි කීය. වැද්දා රැවටී මුව පැටවා ගෙන මහ මුවා කෛරාටිකයාට දී ගියේය. මෙසේ වස්තු හිමියන් උපායෙන් මුලා කොට ඔවුන් සතු වස්තු ගැනීම ද ථෙය්‍යාවහාරය වේ.

  1. අනුන් තළා පෙළා බිය ගන්වා අන් සතු වස්තුව ඉල්ලා ගැනීම පසයිහාවහාර නම් වූ අදත්තාදානය ය.
  2. භාණ්ඩය පිළිබඳව හා ප්‍රදේශය පිළිබඳව ද නිශ්චයක් නැති ව අන්සතු වස්තුව සොරා ගැනීම පරිකප්පාවහාර නම් වේ. ඒ මෙසේ ය: මුදල් සොරකම් කර ගැනීමේ අදහසින් රාත්‍රී කාලයේ ගෙයකට වැද එහි තිබෙන පෙට්ටියක් දැක මෙහි මුදල් ඇති නම් ගනිමි ය යන අදහසින් ඒ පෙට්ටිය ගෙයින් පිටතට ගතහොත් එහි මුදල් තිබුණේ නම් පෙට්ටිය එසවූ කෙණෙහි ම අදත්තාදානය සිදු වේ. මුදල් නොතිබුණේ වී නම් ඒ අවස්ථාවේ දී අදත්තාදාන කර්මය සිදු නො වේ. පිටතට ගත් පෙට්ටිය පරීක්ෂා කර මුදල් නැතිව පෙට්ටිය දමා ගිය හොත් ඔහුට අදත්තාදාන පාපය නො වේ. එහි අන් වටිනා දෙයක් තිබෙනු දැක ඒවා ගනු පිණිස නැවත පෙට්ටිය ඔසවා ගෙන ගිය හොත් දෙවෙනි වර පෙට්ටිය එසවීමේ දී ඔහුට අදත්තාදාන කර්මය සිදු වේ.

අනුන්ගේ ගෙයක තිබෙන වස්තුවක් දැක මෙය පිට කර ගත හැකි වුව හොත් ගනිමි, කෙනකු දුට හොත් තබා යමිය’යි සිතා භාණ්ඩයක් ගැනීම ප්‍රදේශය පිළිබඳ නියමයක් නැති ව ගැනීම ය. එසේ කල්පනා කොට බඩුවක් අතට ගත් තැනැත්තාට ගෙය තුළ සිටින තාක් අදත්තාදානය සිදු නො වේ. භාණ්ඩය ගෙන ගෙයින් පිට වුව හොත් පිටවීමේ දී අදත්තාදානය සිදු වේ.

  1. කර්මාන්ත කරන ස්ථාන හා ස්නානය කරන ස්ථානයෙහි මිනිසුන් විසින් තබන ලද කුඩා බඩු වැලි ආදියෙන් වසා තබා හිමියන් විසින් සොයා නො දැක ගිය කල්හි ඒ බඩු ගැනීම පටිච්ඡන්නාවහාර නම් වූ අදත්තාදානය ය. එසේ කිරීමේ දී තුබූ තැන්වල ම බඩු වසන්නා හට ඒවා ගන්නා තුරු අදත්තාදානය සිදු නො වේ. බිම තුබූ දෙයක් පසුව ගන්නා අදහසින් පයින් ගසා යට කළේ නම් එකෙණෙහි ම අදත්තාදාන කර්මය වේ.
  2. පත්වල නම් ලියා හකුලා බඩුවලට දමා යම් කිසිවක් බෙදන්නා වූ අවස්ථාවේ දී අනෙකකුට ගිය බඩුවක් ගනු කැමැත්තෙන් තමා ගේ නම ඇති පත ඒ බඩුවට ද එහි තුබූ සීට්ටුව තමාගේ නම තුබූ තැනට ද තබා සොරකම් කිරීම කුසාවහාර නම් වේ.

අදත්තාදාන කර්මයාගේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය

වටිනාකම මඳ වස්තුවක් සොරකම් කිරීම අල්ප සාවද්‍ය වේ. වටිනා කම වැඩි වස්තුවක් ගැනීමෙන් මහා සාවද්‍ය වේ. කුඩා දෙයක් ගැනීම අල්ප සාවද්‍ය වේ. මහත් දෙයක් ගැනීම මහා සාවද්‍ය වේ. වස්තුව සම වන කල්හි හිමියාගේ සැටියට අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කිය යුතුය. ගුණහීනයන්ගේ වස්තුව ගැනීම අල්පසාවද්‍ය වේ. ගුණවතුන්ගේ වස්තුව ගැනීම මහා සාවද්‍ය වේ. දුශ්ශීලයකුගේ දෙයක් ගැනුමට වඩා පන්සිල් රකිනා කෙනකුගේ දෙය ගැනීමේ පාපය මහත් වේ. ඊට වඩා උසස් ශීලයක් ඇත්තකුගේ දේ ගැනීම ඊට වඩා මහත් පාපයක් වේ. ගිහියකුගේ දෙයක් ගැනීමේ පාපයට වඩා සාමණේර නමකගේ දෙයක් ගැනීමේ පාපය මහත් වේ. උපසම්පන්න කෙනකුගේ දෙයක් ගැනීමේ පාපය එයට වඩා මහත් වේ. සංඝ සන්තක දෙයක් ගැනීම එයට වඩා මහත් වේ. මෙසේ එකිනෙකට පාපය මහත් වන සැටි දත යුතුය. වස්තුව ය, හිමියාගේ ගුණය ය යන දෙක ම සම වූ කල්හි ප්‍රයෝගයාගේ හා ක්ලේශයන්ගේ වශයෙන් කුඩා මහත් බව කියනු ලැබේ. ඒවා මෘදු වූ කල්හි පාපය ද මඳ වේ. ක්‍රෑර වූ කල්හි මහත් වේ.

අදත්තාදාන කර්මයාගේ විපාකයෝ

අන් සතු වස්තුව සොකරම් කළ අය මෙලොව දී ම බොහෝ නින්දා ලබති. අත් පා ගල් පොලු ආදියෙන් පහර ලබති. සමහර විට අනුන් ගෙන් පහර කා තිරිසනුන් සේ තැන් තැන්වල මැරෙති. පෙර රජවරු සොරුන්ට අත් පා කන් නාසා කැපීම හිස කැපීම උල හිඳවීම ආදි නොයෙක් දඬුවම් කළෝ ය. දැනුදු සොරුන් අසු වුව හොත් සිරගෙයි ලෑම් කස පහර දීම් ආදියෙන් දඬුවම් කරති.

මරණින් මතු සොරකම් කළ අය නරකයෙහි ඉපිද ගින්නේ දැවෙමින් බොහෝ කල් දුක් ලබති. ප්‍රේත ව ඉපද බත් පැන් නැතිව, විළි වසා ගැනුමට වස්ත්‍ර‍ නැති ව, වාසස්ථාන නැතිව, කිසිවකුගේ පිහිටකුත් නැතිව, සාගින්නෙන් පිපාසාවෙන් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. තිරිසන් ව ඉපද දහස් ගණන් ජාතිවල වස්තු හිමියන්ට බර ඇදීම් ආදියෙන් දුක් විඳිති.

අපායෙන් මිදී මිනිසත් බව ලැබූ කල්හි දු, ඇට නහර මතු වූ කුණු තැවරුණා වූ ශරීර ඇති ව, උකුණන් පිරුණු හිස් ඇති ව, නොයෙක් රෝග ඇති ව, ඉරුණු කිලිටි වස්ත්‍ර‍ ඇතිව, ශෝකයෙන් යුතුව, ගිය ගිය තැන දී ගැරහුම් ලබමින් ගෙදොරක් පාසා සිඟා ඇවිදින්නෝ වන්නාහ. බොහෝ දුරට පාපය ගෙවුණු කල්හි දු ඉතා අමාරුවෙන් බත් පැන් ලබන්නා වූ දිළින්දෝ වෙති. ඔවුන් විසින් ධනය සැපයීමට කරන ව්‍යායාමයෝ ද බොහෝ සෙයින් නිෂ්ඵල වෙති. අමාරුවෙන් ධනය ලැබුයේ ද ඔවුන් කෙරෙහි එය නො පවතී. මා පියාදීන් ගෙන් දායාද වශයෙන් යමක් ලදත් එද ඔවුන් අතේ වැඩි කල් නො පවතී. ඔවුනට නිතර ම නැතය නැතය කියා තැවි තැවී සිටින්නට ම සිදු වේ. මෙ සේ අදත්තාදානය මහත් දුක් දෙන පාපයක් බව දැන සුව කැමැත්තෝ අන් සතු වස්තුව විෂ මෙන් සලකා ඒවා ගැනීමෙන් වළකිත්වා!

3. කාම මිථ්‍යාචාරය

කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.

(1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ.

කාම මිථ්‍යාචාරයේ අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය

ශීලාදි ගුණ රහිත වූවන් හා මිථ්‍යාචාරය අල්ප සාවද්‍ය වේ. ගුණ ඇතියවුන් දූෂණය කිරීම මහා සාවද්‍ය වේ. ගුණ හීනයන් කෙරෙහි දු බලයෙන් මිථ්‍යාචාරය මහා සාවද්‍ය වේ. දෙදෙනාගේ කැමැත්ත ඇති කල්හි අල්ප සාවද්‍ය වේ. දෙදෙනාගේ ම කැමැත්ත ඇති කල්හි දු ක්ලේශයන්ගේ හා උපක්‍ර‍මයන්ගේ මෘදුත්වයෙන් අල්පසාවද්‍ය ද ක්‍රෑරත්වයෙන් මහා සාවද්‍ය ද වේ.

කාම මිථ්‍යාචාරයේ විපාක

කාම මිථ්‍යාචාර කර්මය කළාහු මෙලොව දී නින්දාවට භාජන වෙති. සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති. සමහර විට මරණයට ම ද පත් වෙති. සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති. මරණින් මතු ද නරකයෙහි ඉපද, සොළොස් අඟුල් දික් කටු ඇති ඉඹුල් ගස්වලට නංවනු බස්වනු ලබමින් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. නරකයෙන් මිදුණු පසු ද තිරිසන්ව සිය ගණන් ජාතිවල දී බීජෝත්පාටනාදි දුක් ලබති. මිනිස් බව ලැබූ කල්හි දු සිය ගණන් ජාතිවලදී නපුංසකාදීහු වෙති. පුරුෂයෝ ස්ත්‍රීහු වෙති. ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නෙ මිදෙති. විරූප වෙති. ජනයාට අප්‍රිය වෙති. බොහෝ සතුරන් ඇත්තෝ වෙති. රෝගීහු වෙති.

4. මෘෂාවාදය

අනුන් මුළා කරවන අදහසින් ඇති දෙය නැත යයි ද, නැති දෙය ඇත යයි ද, වූ දෙය නො වූයේය යි ද, නො වූ දෙය වූයේය යි ද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මෘෂාවාදය නම් වේ.

මෘෂාවාද කර්මය සිදුවන්නේ අඞ්ග සතරක් සම්පූර්ණ වීමෙනි. (1) කියන කරුණ බොරුවක් වීම ය. (2) අනුන් රවටන අදහස ය (3) ඇඟවීමේ උත්සාහය ය (4) අනෙකා කී දෙය තේරුම් ගැනීම ය යන මේ සතර මෘෂාවාදයේ අංගයෝ ය. කියන දෙය බොරුවක් වුව ද නොදන්නා භාෂාවකින් කීමෙන් හෝ හොඳින් නො ඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නො හැකි වුවහොත් කර්මය සිදු නො වේ. වැරදීමෙන් කියවෙන බොරුවින් ද මෘෂාවාද කර්මය සිදු නොවේ. ඉටු කරන අදහසින් පොරොන්දුවක් වී එය ඉටු කරන්නට නුපුළුවන්වීම නිසා ද මෘෂාවාද කර්මය නො වේ. ඉටු නො කරන අදහසින් පොරොන්දුවක් වන්නහුට එකෙණෙහි ම මෘෂාවාද කර්මය සිදු වේ. පසුව පොරොන්දුව ඉටු කළේ ද එයින් නො මිදේ.

අනුන් ලවා බොරු කියවීමේ දී කියන කියවන දෙදෙනාට ම මෘෂාවාද කර්මය වන බව කිය යුතු ය. එහෙත් අනෙකකුගේ නියෝගයෙන් අනෙකකුට බොරු පණිවිඩියක් කියන තැනැත්තා එහි බොරු සැබෑ බවක් නො දැන රැවටීමේ අදහසින් තොර ව නියෝගය ඉටු කිරීමක් වශයෙන් කියා නම් එයින් කියවන තැනැත්තාට මිස කියන තැනැත්තාට මෘෂාවාද කර්මය නො වේ. දීර්ඝ කාලයක් පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම් මෘෂාවාදය පිළිබඳ ස්ථාවර ප්‍රයෝගය ය. එසේ කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මෘෂාවාද කර්ම සිදු වන බව කිය යුතු ය. ප්‍ර‍වෘත්ති පත්‍ර‍ සඟරාවල හා පොත්වල මාර්ගයෙන් බොරු පතළ කිරීමේ දී ද ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මෘෂාවාද කර්ම වන බව කිය යුතු ය.

මෘෂාවාදයාගේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය

ක්‍රීඩා පිණිස හා නො දෙනු කැමැත්තෙන් ඇති දෙය සඟවනු පිණිස, දරුවන් නැලවීම පිණිස ද, කළ වරද සඟවනු පිණිස ද බොරු කීම අල්ප සාවද්‍ය වේ. කරමිය දෙමිය යනාදීන් අනුන් රවටනු පිණිස බොරු කීම එයට වඩා මහා සාවද්‍ය වේ. මෙරමා හට අනර්ථවන ලෙසට සාක්ෂ්‍ය වශයෙන් බොරු කීම එයට ද වඩා මහා සාවද්‍ය වේ. අනර්ථය පිණිස කියන්නා වූ බොරුවලින් සිදුවන්නා වූ අනර්ථයේ අලාභයේ ප්‍ර‍මාණයට ද අල්ප සාවද්‍ය මහා සාවද්‍යතාව කිය යුතු ය. රවටනු ලබන පුද්ගලයාගේ ගුණවල සැටියට ද අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කිය යුතුය. බොරු කීමේ දී ඇතිවූ ක්ලේශයන් ප්‍ර‍මාණයෙන් ද අල්ප සාවද්‍ය මහා සාවද්‍යතාව කිය යුතු ය.

බොරු කීමේ විපාක

බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.

බොරු කීම ගැන දතයුතු කරුණු

බොරු කීම නොයෙක් පව්කම්වලට වුවමනා දෙයකි. බොරුවෙන් වැළකී සිටින තැනැත්තා හට අන් පව් කිරීමට ද වඩා ඉඩක් නැත. බොරු කියන්නා හට නොකළ හැකි පවක් නැති බව,

“එකං ධම්මං අතීතස්ස - මුසාවාදිස්ස ජන්තුනො

විතිණ්ණ පරලොකස්ස - නත්ථි පාපං අකාරියං”

යනුවෙන් වදාරා තිබේ.

“සත්‍යය නමැති එක ධර්මය අත් හළ බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නොකළ හැකි පවක් නැත ය” යනු එහි තේරුමයි.

සෑම ආගමක ම පව් ලැයිස්තුවක් ඇත්තේ ය. ඒවා එකිනෙකට සමාන නොවන නමුත් බොරුකීම ඒ සියල්ලට ම ඇතුළත් ය. සියලු ම ශාස්තෘවරයෝ වෙනසක් නැති ව බොරු කීම පාපයක් බව ප්‍ර‍කාශ කළෝ ය. ලෝකයේ නුවණැති සියල්ලෝ ම බොරුව පිළිකුල් කරති. බොරු කියන්නා ද පිළිකුල් කරති. අප මහ බෝසතාණන් වහන්සේ විසින් සමහර අවස්ථාවල දී පව් කර තිබේ. එහෙත් අනුන්ට අනර්ථයක් වන්නා වූ බොරුවක් විවරණ ලැබීමෙන් පසු උන් වහන්සේ නො කී බව දක්වා තිබේ. එයින් පෙනෙන්නේ බොරු කීම අන්පව්වලට වඩා ලාමක පාපයක් වශයෙන් උන් වහන්සේ සැලකූ බව ය. බොරු කීමට බිය නොවන ලජ්ජා නො වන තැනැත්තා ගුණවතෙක් නො වේ. දිනක් තථාගතයන් වහන්සේ පා සෝදා සෙම්බුවෙහි ඉතිරි ව තුබූ දිය ස්වල්පයක් රහල් හොරණපාණන්ට දක්වා රාහුලය, බොරු කීමට ලජ්ජා නැති මහණුන්ගේ මහණ කම ද මෙසේ ම ස්වල්පය යි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ පැන් ස්වල්පය ද ඉවත ලා රහල් හෙරණපාණන්ට දක්වා රාහුලය! බොරු කීමට ලජ්ජා නැතියවුන්ගේ මහණකම මෙසේ ම අහක දමන ලද්දක් වේවයි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ සෙම්බුව මුනින් නමා පෙන්වා රාහුලය, බොරු කීමට ලජ්ජා නැතියහු ගේ මහණකම මෙසේ මුනින් නමන ලද්දක් වේ යයි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ බඳුන උඩුකුරු කොට තබා රාහුලය, බොරු කීමට ලජ්ජා නැති මහණුන්ගේ මහණකම මෙසේ ම හිස් වන්නේ ය යි වදාළ සේක. බොරු කීමෙන් නො වැළකෙන්නකු කෙතෙක් ගුණධර්ම රැකියත් ඒවායේ වටිනා කමක් නැත්තේ ය. එබැවින් සැමදෙන ම බොරු කීමෙන් වළකිත්වා! බොරු කීම පිළිකුල් කෙරෙත්වා!

5. පිශුන වචනය

යම් වචනයක් කී කල්හි අසන්නා වූ තැනැත්තාට තමා ප්‍රියයකු වී අනෙකකු අප්‍රිය වේ ද ඒ වචනය පිශුන වචනය නම් වේ. තවත් ක්‍ර‍මයකින් කියතහොත් සමගියෙන් සිටින දෙදෙනකු භේද කරවීම පිණිස කියන්නා වූ වචන පිශුන වචන නම් වේ. කේලාම් කීමය යි කියනුයේ ද පිශුන වචන කීමට ය. කේලාම් කීම වූ පාපකර්මයට පිශුන වචනය යි ද පිසුනාවාචා ය යි කියනු ලැබේ. එයට අංග සතරක් ඇත්තේ ය. (1) භේද කළ යුතු අනෙකකු ඇති වීම ය. (2) කෙනකු හා කෙනකු බිඳවන අදහස ඇති බව ය. (3) බිඳවනු පිණිස යම්කිසිවක් කීමය. (4) ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීමය යන කරුණු සතර සම්පූර්ණ වීමෙන් පිශු වචනය කර්මය සිදු වේ.

අනුන් බිඳවනු සඳහා කියන වචන සත්‍යය ද විය හැකිය. අසත්‍යය ද විය හැකිය. යම්කිසි සත්‍ය කාරණ්‍යක් අනුන් බිඳවීමේ අදහසක් නැති ව, කෙනකුට විය හැකි අන්තරායකින් මුදවා ගැනීම ආදි කරුණක් සඳහා කී කල්හි, එයින් කෙනකු හා කෙනකුගේ බිඳීමක් වුව ද, කී තැනැත්තා හට කේලාම් කීමේ පාපය නොවේ. සත්‍ය කරුණක් වුව ද, බිඳවන අදහසින් කියන්නහුට කේලාම් කීමේ පාපය වේ. කේලමක් කී කල්හි එයින් අනුන් අතර භේදයක් නො වී නම් එය සාමාන්‍ය කර්මයක් වේ. භේදය වී නම් කර්මපථයක් වේ.

කේලාම් කීමේ අල්පසාවද්‍ය

මහාසාවද්‍ය භාවය

කේලාම් කියා බිඳවනු ලබන්නෝ ගුණහීනයෝ වෙත් නම් කර්මය අල්ප සාවද්‍ය වේ. ගුණවතුන් බිඳවීම මහා සාවද්‍ය වේ. සත්‍ය කරුණක් කියා බිඳවීම අල්ප සාවද්‍ය වේ. අමුතුවෙන් බොරු ගොතා කියා බිඳවීම මහා සාවද්‍ය වේ. කේලාම් කීමට හේතු වූ ක්ලේශය්ගේ මන්ද භාවයෙන් අල්ප සාවද්‍ය වේ. ක්ලේශයන් තියුණු වූ කල්හි රෞද්‍ර‍ වූ කල්හි මහා සාවද්‍ය වේ. කේලාම් කීමේ විපාකයෝ මුසාවාදයේ විපාකයන්ට සමාන වෙති.

6. පරුෂ වචනය

අසන්නා වූ අනුන්ගේ සිත් රිදවන්නා වූ වචනය පරුෂ වචන නම් වේ. පරුෂ වචන කීම් වශයෙන් ඇති වන්නා වූ චේතනා සංඛ්‍යාත කර්මයට ද ඒ නම ම කියනු ලැබේ. අංගු තුනක් සම්පූර්ණ වීමෙන් පරුෂ වචන කර්මය වේ. (1) ආක්‍රෝෂ කළ යුතු කෙනකු වීම ය. (2) ක්‍රෝධ සහගත සිත් ඇති වීම ය. (3) අනුන්ගේ සිත් රිදවන වචන කීමය යන මොහු එහි අඞ්ගයෝ ය. ආක්‍රෝෂ කොට සිත රිදවීමට කෙනකු නැති ව, සිත රිදවීමට කියන වචන තනිව කීමෙන් පරුෂ වචන කර්මය සිදු නො වේ. දුෂ්ට සිතින් තොරව පරුෂ වචන කීයේ ද පරුෂ වචන කර්මය සිදු නො වේ. එක් දරුවෙක් මව වළක්වද්දී මවට අකීකරුව වනයට යන්නට පිටත් විය. දරුවාගේ ගමන වැළැක්විය නුහුණු කල්හි මව “වනයේ දී කුළු මීදෙනන තා පස්සේ එනවා” ය යි දරුවාට ආක්‍රෝෂ කළාය. එදා වනයේ දී ඒ ළමයාට අණින්නට කුළු මීදෙනක් ලුහු බැඳ ආවාය. එ කල්හි ළමයාට මවගේ කීම සිහිවී මාගේ මව යමක් කීවා නම් එය මට නොවේවා, යමක් සිතුවා නම් එය ම මට වේවා”යි සත්‍යක්‍රියා කෙළේය. එකෙණෙහි ම මී දෙන නැවතුනාය. ඒ මවගේ කීම පරුෂ වචනයක් වුව ද ඇගේ සිත මෘදු බැවින් දරුවාට එබන්දක් වෙනවාට ඇය නො කැමති බැවින් එයින් පරුෂවචන කර්මයක් නො වේ. එසේ ම දුෂ්ට සිත නැති ව කියන කවර වචනයකින් වුවද පරුෂ වචන කර්මය සිදු නො වන බව දත යුතු ය.

ආක්‍රෝශ කිරීමේ ආකාර දශය

ආක්‍රෝශ කිරීමේ ආකාර දශයක් විනට පිටකයේ පාචිත්තිය පාළියේ දක්වා තිබේ. ජාතියෙන් ආක්‍රෝශ කිරීම ය, නාමයෙන් ආක්‍රෝශ කිරීම ය, ගෝත්‍රයෙන් ආක්‍රෝශ කිරීමය, කර්මයෙන් ආක්‍රෝශ කිරීමය, ශිල්පයෙන් ආක්‍රෝශ කිරීම ය, ආබාධයෙන් ආක්‍රෝශ කිරීමය, ලිඞ්ගයෙන් ආක්‍රෝශ කිරීමය, ක්ලේශයෙන් ආක්‍රෝශ කිරීමය, ආපත්තියෙන් ආක්‍රෝශ කිරීමය, ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීමය යනු ඒ දශය . ඒ සියලු ම ආකාරයෙන් කරන ආක්‍රෝශවලින් පරුෂ වචන කීමේ පාපය වේ.

  1. පහත් යයි සම්මත ජාති ඇතියකුට අවමන් කරනු පිණිස රිදවනු පිණිස ඔහුගේ ජාතියේ නම ගෙන කතා කිරීම ද, උසස් යයි සම්මත ජාති ඇතියකුට රොඩියා පද්දා යන ආදීන් පහත් ජාතියක නාමයෙන් කථා කිරීම ද, පහත් ය යි සම්මත ජාතියක කෙනකුට අවමන් කරනු පිණිස නිලමේ රාළහාමි අප්පුහාමි යනාදීන් උසස් ජාති ඇතියන්ට කියන නාමයන් ගෙන් කථා කිරීම ද ජාතියෙන් ආක්‍රෝශ කිරීම ය.
  2. ලෝකයෙහි ඒ ඒ පෙදෙස්වල උසස් කොට සලකන්නා වූ ද පහත් කොට සලකන්නා වූ ද නොයෙක් නම් ඇත්තේ ය. පහත් යයි සම්මත නමක් ඇතියකුට නිග්‍ර‍හ කරනු පිණිස ඒ නම ගෙන කථා කිරීම ද උසස් කොට සලකන නම් ඇතියකුට නිග්‍ර‍හ පිණිස පහත් නමක් කීම ද, පහත් ය යි සම්මත නමක් ඇතියකුට නිග්‍ර‍හ පිණිස උසස් නමක් ගෙන කථා කිරීම ද, “කරෝලියා ජුවානියා යනාදීන් නිග්‍ර‍හ පිණිස නම නරක් කොට කථා කිරීම ද නාමයෙන් ආක්‍රෝශ කිරීම ය.
  3. ගෝත්‍ර‍ යනු ඒ ඒ ජාතිවල අයට වෙන් වෙන් වූ නම්වලින් ඇත්තා වූ පරම්පරාවෝ ය. පහත් යයි සම්මත ගෝත්‍ර‍යක කෙනකුට නිග්‍ර‍හ පිණිස ඒ ගෝත්‍රයේ නම ගෙන කථා කිරීම ද උසස් යයි සම්මත ගෝත්‍ර‍යක කෙනකුට නින්දා කරනු පිණිස පහත් ගෝත්‍ර‍ නාමයක් ගෙන කථා කිරීම ද, පහත් ගෝත්‍ර‍යක් ඇතියකුට අවමන් කරනු පිණිස උසස් ගෝත්‍ර‍යක නමක් ගෙන කථා කිරීම ද ගෝත්‍රයෙන් ආක්‍රෝශ කිරීම ය.
  4. ඒ ඒ ජනපදවල උසස් කොට සලකන කර්මාන්ත ද ඇත්තේ ය. පහත් කොට සලකන කර්මාන්ත ද ඇත්තේ ය. කසළ ඉවත් කිරීම, වැසිකිළි ශුද්ධ කිරීම ආදි හීන කර්මයක් කරන්නකුට අවමන්න කරනු පිණිස එය ගෙන කථා කිරීම ද, වෙළඳාම් ගොවිකම් ආදි උසස් කර්මාන්තයක් කරන්නකුට අපහාස පිණිස වැද්දා කෙවුලා ගහලයා යනාදීන් කථා කිරීම ද, හීන කර්මයක් කරන්නකුට අවමන් කරනු පිණිස උසස් කර්මයක් ගෙන කථා කිරීම ද කර්මයෙන් ආක්‍රෝශ කිරීම ය.
  5. ඒ ඒ ජනපදවල උසස් කොට සලකන්නා වූ ද පහත් කොට සලකන්නා වූ ද ශිල්පයෝ වෙති. වළන් තැනීම, වට්ටි පෙට්ටි විවීම ආදී පහත් ය යි සම්මත ශිල්පයකින් ජීවත්වන්නකුට නින්දා කරනු පිණිස කුඹලා, කුළුපොත්තා, සම්කරුවා යනාදීන් කථා කිරීම ද, උසස් කෙනකුට අවමන් කරනු පිණිස කුඹලා, කුළුපොත්තා යනාදීන් කථා කිරීම ද, පහත් ශිල්පයකින් ජීවත්වන්නකුට අවමන් කරනු පිණිස ලියනමහත්මයා, වෙද මහත්මයා යනාදීන් කථා කිරීම ද ශිල්පයෙන් ආක්‍රෝශ කිරීම ය.
  6. යම්කිසි ආබාධයක් ඇතියකුට නින්දා කරනු පිණිස කබරයා, පරංගියා, ලාදුරුවා, හොරිකඩයා යනාදීන් කථා කිරීම ද, එබඳු ආබාධයක් නැතියකුට නින්දා පිණිස එසේ කතා කිරීම ද ආබාධයෙන් ආක්‍රෝශ කිරීම ය.
  7. කල්ලා, රත්තා, සුද්දා, දිගා, මිට්ටා, තඩියා යනාදීන් ශරීරාකාරය ගෙන අනුන්ට අපහාස කිරීම ලිඞ්ගයෙන් ආක්‍රෝශ කිරීම ය.
  8. පෙරේතයා, මසුරා, සල්ලාලයා, කොටියා, යකා, ගොනා යනාදීන් අපහාස කිරීම ක්ලේශයෙන් ආක්‍රෝශ කිරීම ය.
  9. කළා වූ හෝ නො කළා වූ හෝ වරදක් ගෙන අපහාස කිරීම ආපත්තියෙන් ආක්‍රෝශ කිරීම ය.
  10. ලෝකයෙහි අනුන්ට රිදවනු පිණිස අපහාස කරනු පිණිස කියන්නා වූ නොයෙක් වචන ඇත්තේ ය. ගොනා, ඌරා, බල්ලා, බේබද්දා, සල්ලාලයා යනාදී සිත රිදවන්නා වූ යම්කිසි වචනයකින් නිග්‍ර‍හ කිරීඹ ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීම ය.

පරුෂ වචන කීමේ අල්පසාවද්‍ය

මහාසාවද්‍යතාව

ගුණවතුන්ට පරුෂ වචනයෙන් ආක්‍රෝශ කිරීම මහාසාවද්‍ය වේ. ගුණ හීනයන්ට ආක්‍රෝශ කිරීම අල්පසාවද්‍ය වේ. ගුණයෙන් සම වූවන්ට ආක්‍රෝශ කිරීමෙහි දී ද්වේෂය මහත් කල්හි මහාසාවද්‍ය ද, ද්වේෂය මඳ කල්හි අල්ප සාවද්‍ය ද වේ. විපාක, මෘෂාවාදයේ විපාකයන්ට සම වේ.

7. සම්ඵප්‍ර‍ලාපය

යම් කථාවක් එය කියවන්නා වූ ද, අසන්නා වූ ද, තැනැත්තන්ගේ මෙලොව පරලොව යහපතට හේතු නොවේ ද? හුදෙක් කෙලෙස් වැඩීමටත්, යම්කිසි යහපතක් සිදුකර ගැනීමට තිබෙන කාලය නිකම් ම ගෙවී යාමටත් පමණක් හේතු වේ ද, ඒ කථාව සම්ඵප්‍ර‍ලාප නම් වේ. සම්ඵප්‍ර‍ලාප කීම් වශයෙන් ඇති වන්නා වූ අකුශල චේතනා සංඛ්‍යාත කර්මයට ද මේ කර්ම කතාවෙහි සම්ඵප්‍ර‍ලාප යන වචන ම කියනු ලැබේ.

(1) අසන කියන දෙපක්ෂයට ම වැඩක් නැති කථාවක් කියන අදහස ය. (2) එ බඳු කථාවක් කීමය යන අඞ්ග දෙකින් සම්ඵප්‍ර‍ලාප අකුශලය සිදු වේ. සම්ඵප්‍ර‍ලාප කියන තැනැත්තේ අනුන්ගේ කාලය නසන්නෙකි. අන්‍යයන් කෙරෙහි කෙලෙස් වැඩි කරන්නෙකි. එබැවින් සම්ඵප්‍ර‍ලාප කීම පාපයකි. ඇතැමුන් කාලය ගත කරනු පිණිස තැන් තැන්වලට එක් වී කරන්නා වූ නිෂ්ඵල කතාවෝ ද, අසන කියන කාහටවත් අවැඩක් මුත් වැඩක් නොවන, බොරු සැබෑ දෙවර්ගය ම මිශ්‍ර‍ කර ගොතා තිබෙන “රාම-රාවණා” කථාව වැනි කථාවෝ ද, අල්පමාත්‍ර‍ සත්‍යකුදු නැති සාවාගේ හා නරියාගේ කථාව වැනි කථාවෝ ද සම්ඵප්‍ර‍ලාපයෝ ය. යම් කිසි උපදේශයක් උගැන්වීම සඳහා ගොතා තිබෙන කථා අසත්‍ය වුව ද, ප්‍ර‍යෝජනයක් ඇති බැවින් සම්ඵප්‍ර‍ලාප සංඛ්‍යාවට නො ගැනේ. කියන ලද සම්ඵප්‍ර‍ලාපය අන්‍යයන් පිළිගත හොත් කර්මපථයක් වේ. කිසිවකු නො පිළිගත හොත් කර්මපථ නො වේ. සාමාන්‍යයෙන් සම්ඵප්‍ර‍ලාප කීම අල්පසාවද්‍ය වේ. නැවත නැවත වර්ණනා කර රසවත් කර කීම මහා සාවද්‍ය වේ. අසන්නවුන්ට වන්නා වූ අර්ථ හානියේ කුඩා මහත් බවේ සැටියට ද එහි අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය කිය යුතු ය.

8. අභිද්‍යාව

අනුන්ගේ සම්පත් දැක ඒවා තමාට වේවා යි සිතීම හෙවත් අන්සතු දෑ අයිතිකර ගැනුමට සිතීම අභිද්‍යා නම් වේ. තමාගේ භාණ්ඩ පිළිබඳ ලෝභය ද පාපයකි. පරභාණ්ඩයක් ගැන කරන්නා වූ ලෝභය, පමණ ඉක්මවා පවත්වන අධර්ම ලෝභයක් වන බැවින් එය අභිද්‍යා නම් වූ අකුශල කර්ම පථය වේ. මෙය බොහෝ සෙයින් අදත්තාදාන කාමමිථ්‍යාචාර කර්මයන්ගේ පූර්වභාගයෙහි ඇති වන්නකි. අභිද්‍යාව නිසා සොරකම් කරති. පරදාර සේවනය කරති. දූ කෙළිය ද අභිද්‍යාව නිසා කරන්නකි. (1) අන් සතු වස්තුවක් වීමය (2) එය අයත් කරගන්නට සිතීමය යන අඞ්ග දෙකින් අභිද්‍යා නම් වූ අකුශල මනඃකර්මය සිදු වේ. ලෝභනීය වස්තුවක් දැක මෙය කොපමණ හොඳ ද යනාදීන් සිතූ පමණින් අභිද්‍යා කර්මය නොවේ. මා විසින් ද මෙවැන්නක් ලබා ගන්නට ඕනෑය යි සිතීමෙන් ද අභිද්‍යා කර්මය නො වේ. මෙය මට වුවහොත් හොඳය කියා හෝ මට අයිති වේවා ය කියා හෝ සිතූ කල්හි කර්මය වේ. එහි අල්පසාවද්‍ය මහාසාවද්‍යතාව හා විපාක ද අදත්තාදාන කර්මයෙහි මෙන් දත යුතු ය. දම්පියා අටුවාවේ චිත්ත වර්ග වර්ණනාවේ දැකවෙන සෝරෙය්‍ය ස්ථවිරයන් වහන්සේගේ කථාව මෙහිලා සැලකිය යුතුය.

9. ව්‍යාපාදය

අන්‍යයෝ නැසෙත්වා යි සිතීම ව්‍යාපාද නම් වේ. මෙය බොහෝ සෙයින් ඊර්ෂ්‍යාව මුල්කොට ඇතිවන පාපයකි. අනුන් මළ කල්හි ඔවුන්ගේ වස්තුව තමාට හිමිවීම ගැන බලාපොරොත්තුවෙන් අනුන් ගැන එසේ සිතන්නෝ ද වෙති. ඔවුන්ගේ ඒ ව්‍යාපාදය ලෝභය නිසා ඇතිවන්නකි. සමහරවිට තමාට කරදර කරන්නෝ නැසෙත්වායි ද සිතති. එය ද්වේෂය නිසා සිදුවන්නකි. (1) අන්‍ය සත්ත්වයකු වීමය (2) ඔහුගේ විනාශය සිතීමය යන අඞ්ග දෙකින් ව්‍යාපාද කර්මය සිදු වේ. අනුන් කෙරෙහි කෝපය ඇති වූ පමණින් ම ව්‍යාපාද කර්මය සිදු නොවේ. නැසෙත්වා යි සිතූ කල්හි කර්මය සිදු වේ. එහි අල්ප සාවද්‍ය මහාසාවද්‍ය භාවය හා විපාක පරුෂ වචන කර්මයෙහි මෙන් දත යුතු ය.

10. මිථ්‍යාදෘෂ්ටිය

මරණින් මතු නැවත ඉපදීමක් නැත. පින් පව්ය කියා දෙයක් නැත, පින් පව්වලින් වන ඵලවිපාකයක් නැත, අපාය ය කියා තැනක් නැත, දිව්‍ය ලෝක බ්‍ර‍හ්ම ලෝකයෝ ය කියා තැන් නැත, නිවනක් නැත යනාදීන් වරදවා දැකීම වරදවා පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය ය. මිථ්‍යාදෘෂ්ටි කර්මයට අඞ්ග දෙකකි. එනම් (1) ගන්නා වූ ආකාරය වැරදි වීම ය. (2) එයම සත්‍යය යි නිශ්චය කර ගැනීමය යන දෙකය. මිථ්‍යාදෘෂ්ටීහු බොහෝ වෙති. එයින් නාස්තික දෘෂ්ටිය ය, අහේතුක දෘෂ්ටිය ය, අක්‍රිය දෘෂ්ටිය ය යන තුන කර්මපථයෝ වෙති. විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටිය හා බ්‍ර‍හ්ම ජාලයෙහි දැක්වෙන දෙසැට වැදෑරුම් දෘෂ්ටීහු ද කර්මයෝ වෙති. කර්මපථයෝ නො වෙති.

නාස්තික දෘෂ්ටිය.

“නත්ථි මහාරාජ! දින්නං නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා. යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති, චතුමහාභූතිකො අයං පුරිසෝ යදා කාලං කරොති පඨවි පඨවිකායං අනුපෙති අනුපගච්ඡති. ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති. තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති. වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති. ආකාසං ඉන්ද්‍රියානි සංකමන්ති, ආසන්දිපඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති, යාවාළාහනා පදානි පඤ්ඤායන්ති කාපොතකානි අට්ඨිනි භවිස්සන්ති, භස්මන්තා ආහුතියො. දත්තුපපඤ්ඤත්තං යදිදං දානං, තෙසං තුච්ඡා මුසා විලාපො, යෙ කෙචි අත්ථිකවාද, වදන්ති බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති න හොන්ති පරම්මරණා.”

යනුවෙන් දැක්වෙන දන් දීමෙන් පලක් නැත. පූජා කිරීමෙන් පලක් නැත, පුද පඬුරු යැවීමෙන් පලක් නැත, පින් පව්වලට ඵලයක් විපාකයක් නැත, පරලොව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත. මෙලොව වසන්නවුන්ගේ පරලොව යාමෙක් නැත, මවට කරන හොඳ නරකවලින් මතුවන ඵලයක් විපාකයක් නැත. පියාට කරන හොඳ නරකවල ඵලවිපාකයක් නැත. මළ පසු නැවත උපදනා සත්ත්වයෙක් නැත. ලෝකයෙහි යම්කිසි යහපත් ප්‍ර‍තිපත්තියකින් මෙලොව පරලොව දෙකක් තමා විසින් ම ප්‍ර‍ත්‍යක්ෂ කරගෙන ප්‍ර‍කාශ කරන්නා වූ ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෙක් නොහොත් මෙලොව පරලොව දෙක ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් දැනගෙන ප්‍ර‍කාශ කරන බුදුවරයෙක් නැත. මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මිත ය. සත්ත්වයා මළ කල්හි ශරීරයේ පෘථිවි ධාතුව බාහිර පෘථිවි ධාතුවට එක් වන්නේ ය. ආපෝ ධාතුව ආපෝ ධාතුවට එක් වන්නේ ය. තේජෝ ධාතුව තේජෝ ධාතුවට එක් වන්නේ ය. වායෝ ධාතුව වායෝ ධාතුවට එක් වන්නේ ය. ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ. පුරුෂයෝ සතර දෙනෙක් සොහොන දක්වා මළ සිරුර ගෙන යන්නාහ. අසවලා දායකයෙක, සිල්වතෙක, අසවලා මසුරෙක, දුශ්ශීලයෙක යනාදීන් පවත්නා ගුණපදයෝ මරණින් මතු පෙනෙන්නාහ. ඇට පරවි පියාපත් පැහැ වන්නාහ. දාන පූජාවෝ හළුවීම කෙළවර කොට ඇත්තෝ ය. දානය මෝඩයන් විසින් පනවන ලද්දකි. යමෙක් දානයෙන් ඵල ඇති බව කියත් ද ඔවුන්ගේ ඒ කීම හිස් ය. බොරු ය. නන් දෙඩවීමක් ය. බාල වූ ද පණ්ඩිත වූ ද සියල්ලෝ ම මරණින් සිඳෙන්නාහ. මතු නූපදින්නාහයි ප්‍ර‍කාශ කරන්නා වූ අජිත නම් තීර්ථකයාගේ මිථ්‍යාදෘෂ්ටිය නාස්තික දෘෂ්ටිය ය.

අහේතුක දෘෂ්ටිය

“නත්ථි මහාරාජ! හේතු නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය. අහේතු අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා අහෙතු අප්පච්චයා සත්ති විසුජ්ඣන්ති”

යනාදීන් දක්වන ලද “සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැත. හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැති ව ම සත්ත්වයෝ කෙලෙසන්නාහ. සත්ත්වයන්ගේ විශුද්ධියට හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැත. හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැතිව ම සත්ත්වයෝ ශුද්ධ වන්නාහ. සත්ත්වයන්ට ඒ ඒ කුඩා මහත් ජාතිවල ඉපද සැපදුක් ලැබීමට එක්තරා නියම ක්‍ර‍මයක් ඇත්තේ ය. බාලයෝ ද පණ්ඩිතයෝ ද යන සෑම දෙන ම ඒ නියමය පරිදි පිළිවෙලින් ඒ ඒ ජාතිවල ඉපිද සැප දුක් ලබන්නා හ. දානපූජාදි පින්කමෙක බලයෙන් හෝ තපස් කිරීමක බලයෙන් හෝ ඒ පිළිවෙළ ඉක්මවා දිව්‍යලෝකාදියෙහි ඉපද විශේෂ සැපයක් නො ලැබිය හැකි ය. නියම කාලය පැමිණෙන තුරු දුක් කෙළවර කර පරම සැපයට ද කිසිවකුට නො පැමිණිය හැකි ය. පින් කරන්නා වූ ද, නො කරන්නා වූ ද, පණ්ඩිත වූ ද, අපණ්ඩිත වූ ද සියල්ලෝ ම සුවාසූදහසක් කල්පයන් මුළුල්ලෙහි සසර සැරිසරා දුක් කෙළවර කරන්නාහ යන මක්ඛලී ගෝසාල තීර්ථකයා විසින් ප්‍ර‍කාශ කරන්නා වූ දෘෂ්ටිය අහේතුක දෘෂ්ටිය ය.

අක්‍රිය දෘෂ්ටිය

“කරොතො ඛො මහාරාජ! කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පචයතො සොචතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණාති පාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං”

යනාදීන් දක්වන ලද “තමා විසින් ම පව්කරන්නා හට ද, අනුන් ලවා පව් කරවන්නා හට ද, අනුන්ගේ අත් පා ආදිය සිඳින්නා වූ තැනැත්තාට ද, සිඳවන්නා වූ තැනැත්තා හට ද, ද දඬු මුගුරු ආදියෙන් අනුන් පෙලන්නා වූ තැනැත්තා හට ද, පෙළවන්නා වූ තැනැත්තා හට ද, වස්තුව පැහැරගැනීම් ආදියෙන් අනුන් ශෝක කරවන්නා හට ද, අනුන් ලවා අනුන්ට ශෝක කරවන්නා වූ තැනැත්තාට ද, ආහාර නො දීම් සිර කිරීම් ආදියෙන් අනුන් වෙහෙස වන්නා වූ තැනැත්තා හට ද, අනුන් ලවා අනුන් වෙහෙසවන්නා වූ තැනැත්තා හට ද, අනුන්ට පීඩා කිරීම් වශයෙන් තමා ද සැලෙමින් අනුන් ද සොලවන්නා වූ තැනැත්තාට ද, ප්‍රාණඝාතය කරන්නා හට ද, සොරකම් කරන්නා හට ද, ගෙවල් බිඳින්නා හට ද, ගම් විනාශ කොට වස්තුව පැහැර ගන්නා හට ද, එක් ගෙයක් වට කොට වස්තුව පැහැර ගන්නා තැනැත්තාට ද, මඟ රැකසිට වස්තුව පැහැර ගන්නා තැනැත්තාට ද, පරදාරාවන් කරා යන්නා වූ තැනැත්තා හට ද, බොරු කියන්නා හට ද, ඕනෑකමින් ම පව් කරන්නා හට ද, සිදුවන්නා වූ පාපයක් නැත. පොළොවෙහි ඇති තාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන්නා වූ තැනැත්තා හට ද එයින් වන පාපයක් නැත. දන් දීමෙන් සිල් රැකීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් තපස් කිරීමෙන් වන්නා වූ පිනක් ද නැතැ’යි පූර්ණ කාශ්‍යප නම් වූ තීර්ථකයා විසින් පැවසූ දෘෂ්ටිය අක්‍රිය දෘෂ්ටිය ය.

මිථ්‍යාදෘෂ්ටි කර්මයාගේ විපාකාදිය

“නාහං භික්ඛවේ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහාසාවජ්ජං: යථයිදං භික්ඛවේ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨි පරමා භික්ඛවෙ වජ්ජානීති.”

යනුවෙන් මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් බඳු ද එසේ මහාසාවද්‍ය වූ අන් එක ම ධර්මයකුදු මාගේ සර්වඥතාඥානයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය වරදවල් අතුරෙන් සියල්ලට ම මහත් වරද වේය”යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

මෙය කර්ම, කර්ම ඵල දෙක ප්‍ර‍තික්ෂේප කරන්නා වූ නාස්තිකය අහේතුකය අක්‍රියය යන දෘෂ්ටි තුන ගැන කරන ලද දේශනයෙකි. ඒ දෘෂ්ටි තුන අතුරෙන් කවර දෘෂ්ටියක් වුවත් ගත් තැනැත්තා හට එය නො හැර මරණින් මතු සුගතියට නො පැමිණිය හැකි ය. නිවනට ද නො පැමිණිය හැකි ය. ඒ දෘෂ්ටීහු සත්ත්වයන්ට ස්වර්ග මෝක්ෂයන් ආවරණය කරන්නෝ ය. ඒ දෘෂ්ටි තුන අතුරෙන් කවරක් හෝ ගෙන සිටින තැනැත්තා මරණය දක්වා එය නො හැර සිටියේ නම් ඒකාන්තයෙන් අපායට පැමිණෙන්නේ ය. එබැවින් ඒවාට නියත මිථ්‍යාදෘෂ්ටිය යි කියනු ලැබේ. මිථ්‍යා දෘෂ්ටිය ගත් තැනැත්තා එය නිසා තවත් බොහෝ පව් රැස් කරන්නේ ය. ඒවා ද එකතු වී මිථ්‍යාදෘෂ්ටි කර්මය විපාක දෙන්නට වන් කල්හි ආනන්තර්‍ය්‍ය කර්මයන්ට ද වඩා බලවත් ව විපාක ගෙන දෙන්නේ ය. ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන් කල්පාවසානයේ දී නරකයෙන් මිදෙන බවත්, නියත මිථ්‍යා දෘෂ්ටිය ගතුවන් තමන් සිටින ලෝකධාතුව විනාශ වන කල්හි අන් ලෝක ධාතුවක නරකයට පැමිණ එහි විපාක විඳින බවත් එහි විපාකාවසානයාගේ නියමයක් නැති බවත් දක්වා තිබේ.

බොහෝ දෙනාට මිසදිටු ගැනීමට හේතු වන්නේ මිසදිටුවන් සේවනය කිරීම ය. ඇතැම් මිසදිටුවෝ තමා ගෙන සිටින දෘෂ්ටිය අන්‍යයන්ට ද රසවත් කොට පෙන්වා මඳ නුවණ ඇතියන් ලවා මිසදිටු ව ගන්වති. සම්‍යක් දෘෂ්ටිකයකු මිථ්‍යාදෘෂ්ටියකු කිරීම මහා අපරාධයෙකි. ධර්ම විෂයෙහි ප්‍ර‍ත්‍යක්ෂ දර්ශනයක් නැත්තා වූ පෘථග්ජන පුද්ගලයා රැවටෙන සුළු ය. ධර්මයෙන් ඈත් ව වාසය කරන්නා වූ තැනැත්තන් මිසදිටුවන් සේවනය කරන්නටත්, ඔවුන්ගේ දෙසුම් ඇසීමටත්, ඔවුන්ගේ පත පොත කියවන්නටත් පටන් ගත හොත් මුලාවී මිසදිටු වීමට ඉඩ තිබේ. මිසදිටු වීම තරම් නපුරක් තවත් නැත. එබැවින් මිථ්‍යාදෘෂ්ටිකයන්ගෙන් තුරන්ව වාසය කිරීම යහපති.

“තස්මා අකත කල්‍යාණං - ආසිවිස මිචොරගං

ආරකා පරිවජ්ජෙය්‍ය - භූති කාමො විචක්ඛණො.”

යනුවෙන් කරන ලද පින් නැත්තා වූ මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයා ඝෝර විෂ ඇති සර්පයකු මෙන් සලකා දෙලොව වැඩ කැමති නුවණැතියන් විසින් ඔහුගෙන් දුරින් ම දුරු විය යුතු බව දක්වා තිබේ. අපේ ඇතැම් බෞද්ධ මාපියෝ ස්වකීය දරුවන් මිසදිටුවන් යටතට පත්කොට ඔවුන්ට මිසදිටු වන්නට මඟ පාදති. එය දරුවන්ට කරන්නා වූ මහත් වූ ම අපරාධයෙකි. මිථ්‍යාදෘෂ්ටි කර්මය මහා පාපයක් වන නමුත් එය බොහෝ ද්‍ර‍ව්‍ය රැස් කරගෙන උපකාරයට මිනිසුන් රැස් කරගෙන වියදමක් දරා මහා පරිශ්‍ර‍මයකින් සිදු කළ යුත්තක් නො ව සිතෙන් ම සිදුවන්නක් බැවින් ධර්මයෙන් ඈත්ව සත් පුරුෂ සේවනයෙන් තොර ව වාසය කරන්නා හට පහසුවෙන් ම සිදු විය හැකි ය. එය සිදුවීමට වුවමනා “පින් පව් කියා දෙයක් නැතය කියා හෝ පින් පව්වල විපාකයක් නැත ය කියා හෝ මරණින් මතු ඉපදීමක් නැතය කියා හෝ පිළිගැනීම” පමණෙකි. දෙලෝ වැඩ සිදු කර ගනු කැමැත්තෝ එයින් වළකිත්වා!

දශ අකුශල කර්මපථ විභාගය නිමි.

සුරාපානය

මත්කොට මනුෂ්‍යයාගේ ප්‍ර‍කෘති ස්වභාවය නැති කරන්නා වූ රා අරක්කු ආදි පාන වර්ග බීම ද, දුම්වර්ග බීම ද, කෑම වර්ග කෑම ද යන මේ සියල්ල සුරාපානකර්මයට අයත් ය. මෙය සත්ත්වයන්ගේ දෙලෝ වැඩ නසන්නා වූ මහත් අනර්ථකාරී වූ කර්මයකි. සුරාවෙන් මත් වූ කල්හි සත්ත්වයා පිස්සකු වැනි වේ. සුරාපානය නිසා ස්වකීය සිත කය දෙක හසුරඅවා ගැනීමේ ශක්තිය ඔහු කෙරෙන් තුරන් වේ. එ බැවින් මත්වූයේ ජනයා මැද නො සරුප් බස් බිණීම්, ගී කීම්, නැටීම්, නග්න ව හැසිරීම් ආදිය කොට ජනයාගේ පිළිකුලට භාජන වේ. සමහර විට ක්ලාන්ත වී තැන තැන වැටෙයි. සමහර විට ගත් ආහාරය වමනය කරයි. සමහර විට දුටුවන් හා කලහයට එයි. ස්වකීය අඹු දරුවන්ට පවා නොයෙක් විට හිරිහැර කරයි. ස්වකීය භාණ්ඩ විනාශ කර ගනී, නො ලැබූ දෑ ලබා ගැනීමේදී ද ලැබූ වස්තුව ආරක්ෂා කර ගැනීමේ ද ඥානය ඔහු කෙරෙන් තුරන් වේ. එ බැවින් හේ දිළින්දකු නම් දිළිඳු බවින් නඟින්නට නො සමත් වේ. පොහොසතකු නම් වස්තු භංගත්වයට පැමිණ දිළිඳු වේ. සුරාව අධික කොට පානය කිරීමෙන් ඇතමෙක් නොයෙක් රෝගයන්ට භාජන වී අකාලයෙහි මැරෙති. මේවා අපට පෙනෙන්නට ම ඇත්තා වූ සුරා පානයේ දෝෂයෝ ය. සුරාපානයෙන් මරණින් මතු ලැබෙන විපාක මෙසේ වදාළ සේක.

“සුරාමේරය පානං භික්ඛවෙ! ආසෙවිතං භාවිතං බහුලීකතං නිරය සංවත්තනිකං හොති, තිරච්ඡාන යොනි සංවත්තනිකං හොති, පෙත්තිවිසය සංවත්තනිකං හොති, යො සබ්බලහුසො සුරාමේරය පානස්ස විපාකො මනුස්ස භූතස්ස උම්මත්තක සංවත්තනිකො හොති”

“මහණෙනි, සේවනය කරන ලද්දා වූ වඩනා ලද්දා වූ බොහෝ කොට කරන ලද්දා වූ සුරා මේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. තිරිසන් යෝනියෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. ප්‍රේත විෂයෙහි ඉපදීම පිණිස පවත්නේ ය. සුරාමේරය පානය කිරීමේ ඉතා ම අල්ප විපාකයාගේ වශයෙන් මිනිස් ලොව උපන්නහුට උමතු බව ඇති කරන්නේ වේ.” ය යනු එහි තේරුම යි.

“උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති

දීනා සදා ව්‍යසන රෝග පරායනා ච,

ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා

පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා”

නුවණ නැත්තා වූ පුද්ගලයෝ හලාහල විෂයක් (කෑ සැටියේ මැරෙන විෂයක්) බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උම්මත්තකයෝ වන්නාහ. ලජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හි නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ යනු එහි තේරුමයි.

සුරාපානය නිසා මෙලොව විනාශයට පත්වූවෝ බොහෝ ය. එක් කලෙක මුළු දඹදිව ම යටපත් කර සිටීමට සමත් වූ වාසුදේවාදි රාජ කුමාරවරු දසදෙන සුරාපානයෙන් නැසුණෝ ය. පෙර එක් රජ කෙනෙක් සුරාපානයෙන් මත් වූයේ සිය පුතු මරවා ඔහුගේ මස් කා සිහි වූ පසු මහත් ශෝකයට හා ලජ්ජාවට ද පැමිණියේ ය. සතළිස් කෝටියක් ධනය ඇති ව සිට අනේපිඬු මහ සිටුහුගේ බෑනා කෙනෙක් සුරාපානය නිසා ධන හානියට පැමිණ සිඟා කමින් ජීවත් වී අන්තිමේ දී අනුන්ගේ ගෙයක බිත්තියක් අද්දර මළේය. ගෙහිමියෝ බලු කුණක් සේ මල සිරුර වනයට ඇද දැමූහ. සැවැත් නුවර අසූකෙළක් ධනයට හිමියකු ව සිට මහා ධන සිටු පුත්‍ර‍යා සුරාපානය නිසා සියල්ල නැති වී හිඟමනට පත්ව අන්තිමේ දී අනුන්ගේ ගෙයක බිත්තිය අද්දර මැරී ගෙහිමියන් විසින් බලු කුළක් සේ වනයට ඇද දමන ලද්දේ ය. පෙර තව්තිසා දෙව්ලොව විසූ අසුරයෝ ද සුරාපානය නිසා ඒ දෙව් ලොවට අහිමි වූහ.

සුරාපාන කර්මය දශාකුශල කර්‍ම පථයට ඇතුළු වන නො වෙන හැටි

මෙපමණ ආදීනව රාශියක් ඇත්තා වූ සුරාපානය ද කර්මපථයක් වශයෙන් ගෙන අකුශල කර්මපථ එකොළසක් බුදු සමයේ නො දැක්වීමට හේතුව කවරේ ද යනු සැලකිය යුතු කරුණකි. කුශලාකුශලයන් ගේ විපාකය ප්‍ර‍තිසන්ධි විපාක, ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් දෙවැදෑරුම් වේ. මරණින් මතු යම්කිසි තැනක උත්පත්තියක් සිදු කිරීම ප්‍ර‍තිසන්ධි විපාකය ය. උපන් සත්ත්වයා හට සැපදුක් පැමිණවීම ප්‍ර‍වෘත්ති විපාකය ය. කර්මපථය යි කියනු ලබන්නේ ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මයන්ට ය. ප්‍ර‍තිසන්ධිය ගෙන දීමේ ඒකාන්ත බවක් නැත්තා වූ කර්මයන්ට කර්ම යන නාමය පමණක් කියනු ලැබේ. සුරාපාන කර්මය ද ප්‍ර‍තිසන්ධි ගෙන දීම් වශයෙන් අනේකාන්තික කර්මයෙකි. සුරාපාන කර්මය ප්‍ර‍තිසන්ධිදායක කර්මයක් වනුයේ ප්‍රාණඝාතාදි කර්මපථයන් හා සම්බන්ධ වූ කල්හිය. සුරාපානයෙන් මත්ව ප්‍රාණඝාතාදි ක්‍රියාවක් කළහොත් ඒ සුරාපාන කර්මය ප්‍රාණඝාත කර්මයාගේ පූර්ව චේතනා භාවයෙන් අපාය ප්‍ර‍තිසන්ධි දානය කරන්නේ ය. ප්‍රාණඝාතාදි පාපයක් කොට තමාගේ වික්‍ර‍මය ගැන සතුටු වී සුරාපානය කළහොත් එය ඒ කර්මපථයාගේ අපර චේතනා වශයෙන් ප්‍ර‍තිසන්ධි විපාකයක් ඇති කිරීමට සමත් වන්නේ ය. යම්කිසි පාප ක්‍රියාවක් කිරීමට ධෛර්‍ය්‍ය ඇති කර ගනු පිණිස කරන සුරාපානය ද ඒ කර්මයාගේ පූර්ව චේතනා භාවයෙන් ප්‍ර‍තිසන්ධි ගෙනදීමට සමත් වන්නේ ය. නිරෝගභවාදි අන් කරුණක් නිසා කරන්නා වූ සුරාපානය ද සුරාපානය කොට මත් ව යම්කිසි අපරාධයක් නො කරන්නා වූ තැනැත්තාගේ සුරා පානය ද පාපයක් වන නමුත් කර්මපථයක් නොවේ. මෙසේ සුරාපාන කර්මය ප්‍ර‍තිසන්ධි දානයෙහි අනේකාන්තික බැවින් එය ද ඇතුළත් කොට අකුශල කර්මපථ එකොළොසක් නො ගන්නා ලැබේ.

වෙන් වූ කර්මපථයක් වශයෙන් එය නො ගන්නේ වී නමුත් “තස්ස සභාගත්තෙන මිච්ඡාචාරෙ උපකාරකත්තෙන දසසුපි කම්මපථෙසු අනුපවෙසො”යි එය සභාගත්වයෙන් කාමමිථ්‍යාචාර කර්මය ද, උපකාරත්වයෙන් දශාකුශල කර්මපථයට ම ඇතුළත් වන බව පූර්වාචාර්යවරයෝ දැක්වූහ. එසේ දශ අකුශලයට ඇතුළත් වන බැවින් එය වෙන්වූ කර්ම පථයක් වශයෙන් නො ගන්නා ලදැයි ද කිය හැකි ය.

සුරාපාන කර්මය ප්‍ර‍තිසන්ධි විපාකදානයෙහි අනේකාන්තික කර්මයක් නම් එහි විපාක වදාරන්නා වූ තථාගතයන් වහන්සේ “නිරය සංවත්තනිකං හොති” යනාදිය වදාළේ කුමට ද? යන ප්‍ර‍ශ්නය ද මෙහි දී ඇති වේ. සුරාපානය මදයට හේතු වේ. මදය අකුශලයට හේතු වේ. අකුශලය අපායෝත්පත්තියට හේතු වේ. සුරාපානය නො කළේ නම් මදය නිසා සිදුවන අකුශල් සිදු වී අපායගාමී නොවන බැවින් සුරාපානය ද අපායෝත්පත්තියට දුරින් සිටින බලවත් හේතුවක් වේ. එබැවින් එහි ඵල දක්වන්නා වූ තථාගතයන් වහන්සේ “නිරය සංවත්තනිකං හොති” යනාදිය වදාළ සේක. අපායෝත්පත්තිය සිදු වන්නේ සුරාපාන මාත්‍රයෙන් නොව මත්ව කරන අකුශලයෙන් බව -

“යං වෙ පීත්වා දුච්චරිතං චරන්ති

කායෙන වාචාය ච චෙතසා ච

නිරයං වජන්ති දුච්චරිතං චරිත්වා

තස්ස පුණ්ණං කුම්භමිමං කිණාථ”

යන ජාතක ගාථාවෙන් ද පැහැදිලි වේ.

“යමක් පානය කොට කයින් ද වචනයෙන් ද සිතින් ද දුසිරිත්හි හැසිරෙත් ද දුසිරිත්හි හැසිර හෙවත් පව් කොට නරකයට යෙත් ද එයින් පිරුණා වූ මේ සැළිය ගනිව් ය” යනු එහි තේරුමයි. මෙයින් දැක්වෙන්නේ සුරා බී, එ පමණින් අපායට යෑමක් නොව එය නිසා පව් කොට අපායට යෑමෙකි. සුරාපානය කොට පවක් කෙළේ හෝ වේවා නො කළේ හෝ වේවා යමෙක් බෙහෙතක් වශයෙන් වුවත් බිඳක් වත් සුරාපානය කළේ නම් එයින් සුරාපාන සිකපදය බිඳේ. එබැවින් සුරාපානය කළත් අපි පව් නො කරමු යි කියා එය සැහැල්ලු කොට සිතා සුරාපානය කරන්නට නො යා යුතු ය. පන්සිල් රක්නා බෞද්ධයාට මඳක් වත් සුරා බෙහෙතක් පිණිසවත් පානය කිරීමට අවකාශයක් නැති බව තේරුම් ගෙන දෙලොව වැඩ කැමැත්තෝ සුරාව විෂයක් මෙන් සලකා එයින් වළකිත්වා!

පඤ්චානන්තර්‍ය්‍ය කර්මය

  1. මව මැරීම ය
  2. පියා මැරීම ය
  3. රහතුන් මැරීම ය
  4. බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම ය
  5. සංඝයා භේද කරවීම ය,

යන මේ පස ආනන්තර්‍ය්‍ය නම් වූ මහා පාපයෝ ය. මේවාට ආනන්තර්‍ය්‍ය කර්මය යි කියනුයේ මරණයට අනතුරු ව ම විපාක දානය නියත බැවිනි. නියත මිථ්‍යා දෘෂ්ටිය මහා පාපයක් වුව ද, මරණයට කලින් දෘෂ්ටිය හළ හොත් ඒ තැනැත්තාට සුගතියට යා හැකි ය. ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන්ට අපායෙන් මිදීමට උපක්‍ර‍මයක් නැත්තේ ය. කොතරම් විශාල පිනක් කළත් ඔවුනට අපායෙන් නො මිදිය හැකිය. බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුණවුන්ගෙන් අග්‍ර‍ වූයේ අජාසත් රජතුමා ය. එතුමා බොහෝ පින් කෙළේ ය. එහෙත් පීතෘඝාත කර්මය කළ බැවින් ඔහුට නරකයෙන් නො මිදිය හැකි විය. බොහෝ පින් කිරීමෙන් එතුමාට ඇති වූ මඳ සැනසිල්ල මහා නරකයට නො වැටී කුඩා තැනකට වැටීම ය. මාතෘඝාත පීතෘඝාත කර්ම දෙක පිළිබඳ වදත යුතු කරුණු ප්‍රාණාතිපාත කර්ම විස්තරයේ දී කිරයන ලදි. මනුෂ්‍ය ජාතික රහත් කෙනකු මැරීමෙන්න අරහන්තඝාත ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මනුෂ්‍ය නොවූ රහත් කෙනකු මැරීම මහාසාවද්‍ය කර්මයක් වේ. ආනන්තර්‍ය්‍ය නොවේ. බුදුවරුන්ගේ ජීවිතය කිසිවකුට නැසිය නොහෙන බැවින් බුද්ධඝාත කර්මයක් නැත. බුදුවරුන්ගේ ශරීරය සිදුරු කළ හැක්කේ ද නො වේ. තද පහරක් වැදුන හොත් බුද්ධ ශරීරයේ ලේ තැළී කැටි වේ. එසේ කිරීම ලෝහිතුප්පාදක කර්ම නම් වූ ආනන්තර්‍ය්‍ය කර්මය ය. චෛත්‍ය බිඳීම, බුදු පිළිම විනාශ කිරීම, බෝරුක් විනාශ කිරීම, විහාර විනාශ කිරීම යන මේවා ආනන්තර්‍ය්‍ය කර්මයට ළංවන තරමේ මහා සාවද්‍ය කර්මයෝ ය. බෝරුක ආරක්ෂා කරනු පිණිස දිරූ අතු අස් කිරීම පාපයක් නොවේ. ශාරීරික ධාතු සහිත චෛත්‍යයකට පිළිමයකට බෝ අතු බෝ මුල් වලින් අනතුරක් වත හොත් ඒවා ආරක්ෂා කරනු පිණිස බෝ අතු බෝ මුල් අස් කිරීම ද පාපයක් නොවේ. පාරිභෝගික වස්තුවට වඩා ශාරීරික ධාතු උතුම් හෙයිනි. බෝ කටු මලසුන් ආදිය ආරක්ෂා කරනු පිණිස, බෝ මුල් බෝ අතුවලට අනතුරු නො කළ යුතු ය. ආනන්තර්‍ය්‍ය කර්ම අතුරෙන් සඞ්ඝ භේද කර්මය සියල්ලට ම වඩා මහත් පාපය වේ. එය කළාහු කපක් මුළුල්ලෙහි නරකයෙහි පැසෙති. ඉතිරි කර්ම කළාහු ඊට අඩු කාලයකින් ද නරකයෙන් මිදෙති. සංඝභේද කර්මය පැවිද්දකු විසින් මිස ගිහියකු විසින් නො කළ හැකිය. ලෝහිතුප්පාදක කර්මය මහා සාවද්‍ය භාවයෙන් දෙවන තැන ගනී. අරහන්ත ඝාතනය තුන්වන තැන ගනී. මාපිය දෙදෙනාගෙන් වඩා ගුණ ඇත්තා මැරීම මහත් පාපය වේ.

අකුශල මූලයෝ

“තීනිමානි භික්ඛවේ, අකුසල මූලානි ලොභො අකුසල මූලං, දොසො අකුසල මූලං, මොහො අකුසල මූලං” යනුවෙන් වදාළ පරිදි ලෝභය ය, ද්වේෂය ය, මෝහයය යන මේ ධර්මයෝ අකුශල මූලයෝ ය. ගස්වලට නො සැලී පිහිටීමට මුල් උපකාර වන්නාක් මෙන් අකුශල ක්‍රියා කරන්නා වූ චිත්ත චෛතසිකයන් හට ලෝභාදීහු මූල භාවයෙන් උපකාර වෙති. ඒ බැවින් ඒවාට අකුශලමූලයෝ යයි කියනු ලැබේ. අකුශල් මුල් තුනෙන් වියුක්ත අකුශලයක් නැත්තේ ය. එක අකුශල් සිතක ඒ තුනම ද නො ලැබේ. සමහර අකුශල සිතකට එයින් එක් මූලයක් ඇත්තේ ය. සමහරකට දෙකක් ඇත්තේ ය. යම් කිසි සිතක් එයින් එකකින් හෝ දෙකකින් හෝ යුක්ත වේ නම් එය අකුශල සිතකි. ලෝභාදියෙන් යුක්ත බව, අකුශල චිත්තය අකුශල චේතනාව හැඳින ගැනීමට ලකුණකි.

ලෝභය යනු රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍ර‍ෂ්ටව්‍ය ධර්ම සංඛ්‍යාත අරමුණු සයට ඇලුම් කරන ස්වභාවය ය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් අඹු දරු ආදීන් කෙරෙහි හා වතු කුඹුරු ගෙවල් ඇඳුම් පැළඳුම් ආහාර පාන මිල මුදල් ආදි හොඳය යි සලකන වස්තූන් කෙරෙහි ඇලීම ය. ලෝභය, ආරම්මණය යි කියනු ලබන ලෝභනීය වස්තු කෙරෙහි හා ගුණයන් කෙරෙහි ඇලෙන්නා වූ ආකාරයෙන් එකක් වුව ද, පවත්නා ආකාරයෙන් අනේක ප්‍ර‍කාර වේ. අනේකප්‍ර‍කාරයෙන් ඇති වන්නා වූ ලෝභයන්ට ව්‍යවහාර කරන නාමයෝ ද බොහෝ ය. නො ලැබූ වස්තු සම්බන්ධයෙන් හා නො ලැබූ සැප සම්බන්ධයෙන් ද, නො කළ ක්‍රියා සම්බන්ධයෙන් ද, ඇති කර නො ගත් ගුණාදිය සම්බන්ධයෙන් ද, පවත්නා ලෝභයට බොහෝ සෙයින් ඕනෑකමය ආශාවය යන වචන පාවිච්චි කරති. ගහන්න ඕනෑය, දෙන්න ඕනෑය යනාදි තන්හි “ඕනෑය, යන වචනයෙන් කියවෙන අර්ථය ලෝභය නො වේ. අඹු දරුවන් සම්බන්ධයෙන් නෑ මිතුරු ආදීන් සම්බන්ධයෙන් පවත්නා වූ ලෝභයට ආලය, ආදරය, ප්‍රේමය, ස්නේහය යන වචන ව්‍යවහාර කරති. සමහර විට ඒ අර්ථය ප්‍ර‍කාශ කරනු පිණිස මෛත්‍රියය, කරුණාවය යන වචන ද ධර්ම විභාග නො දන්නෝ පාවිච්චි කරති. විෂය රස විඳීමේ ලෝභයට රාගය, සල්ලාලකමය, ප්‍රීති වීමය යන වචන පාවිච්චි කරති. ඒවා පිළිබඳ අධික තෘෂ්ණාවට කැතකම යයි කියති. ලැබූ වස්තුව පිළිබඳ ආශාවට තෘෂ්ණාවය, ලෝභකමය, කැතකමය, කුණුකමය යන වචන කියති. ලෝභය යන අර්ථය දීම සඳහා භාවිත කරන තවත් බොහෝ වචන ද ඇත්තේ ය.

ඇතැම් පුද්ගලයන් හා ඇතැම් වස්තූන් ද ඇතැම් ගුණ හා ක්‍රියා ද නුරුස්නා ස්වභාව, ඒවාට විරුද්ධ ස්වභාව ද්වේෂ නම් වූ අකුසල මූලයයි. එය ද අනේකාකාරයෙන් පවත්නා ධර්මයෙකි. ක්‍රෝධය, වෛරය, එදිරිය, නො සතුට, පිළිකුල, භය, කණගාටුව යන මේවා ද්වේෂය සඳහා භාවිතා කරන වචන සමහරෙකි. මේ ද්වේෂය බලයෙන් තමාට සම වූ හෝ තමාට වඩා දුබල වූ හෝ කෙනකු සම්බන්ධයෙන් උපදනා කල්හි විරුද්ධව ඉදිරිපත් වන්නා වූ ආකාරයෙන් උපදී, ඒ ද්වේෂයට ‍ක්‍රෝධය යයි කියනු ලැබේ. තමාට වඩා බලවත් වූ හෝ ප්‍ර‍තික්‍රියාවක් කිරීමට තමා සමත් නො වන්නා වූ හෝ කෙනකු සම්බන්ධයෙන් එය උපදනා කල්හි, ඒ පුද්ගලයා කෙරෙන් ඈත් වන්නා වූ පසු බසින්නා වූ ආකාරයෙන් උපදී. එයට බිය යයි කියනු ලැබේ. දීර්ඝ කාලයක් නැවත නැවතත් උපදිමින් පවත්නා ද්වේෂයට වෛරය යි කියනු ලැබේ. යම් කිසි පුද්ගලයකු ගේ වස්තුවක අශෝභනත්වය ලාමකත්වය නිසා උපදනා ද්වේෂයට පිළිකුලය යි කියනු ලැබේ.

ඒ ඒ වස්තූන්ගේ හා කරුණුවල ඇති සැටිය වරදවා ගන්නා වූ ස්වභාවය, මෝහ නම් වූ අකුශල මූලය ය. මුළාව ය, නො දැනීමය, වැරදීමය, මෝඩ කමය යනාදිය එයට ව්‍යවහාර කරන නාමයෝ ය.

ලෝභ ද්වේෂ මෝහ ය මොවුහු පාපයන්ට මුල්වුවාහු පමණක් නොව තුමූ ද පාපයෝ වෙති. ලෝභයෙන් බොහෝ සෙයින් සත්ත්වයා තිරිසන් බවට හා ප්‍රේත බවට පමුණුවනු ලැබේ. ඇතැම්හු වස්තුවට හා අඹු දරු ආදීන්ට ලෝභ කොට ඒ වස්තුව සමීපයේ පුද්ගලයන් සමීපයේ ප්‍රේතව උපදිති. මීයන් ව ද නයින් ව ද ගැරඬින් ව ද උපදිති. සමහර විට උකුණු මකුණු ආදීන්ව ද උපදිති. ද්වේෂය නිසා නරකයෙහි ද, යක්‍ෂව ද, නපුරු සතුන්ව ද උපදිති. මෝහය සකලානර්ථයන්ට ම හේතු වන පාපයකි. දෙලෝ වැඩ කැමැත්තෝ මේ පව් මුල් තුන තුනී කර ගැනීමටවත් උත්සාහ කෙරෙත්වා!

අකුසල් තුදුසක්

ක්‍රෝධයය, උපනාහයය, මක්ඛයය, පලාසයය, ඉස්සාවය, මච්ඡරියය, මායාවය, සාඨෙය්‍යය, ථම්භයය, සාරම්භයය, මානයය, අතිමානයය, මදයය, පමාදයය යන මේ තුදුස ද අකුශලයෝ ය.

  1. ක්‍රෝධ යනු මෙරමා හට රිදවනු කැමති ආකාරයෙන් හට ගන්නා වූ ද්වේෂය ය. එය ප්‍ර‍ථමයෙන් සිහින් ව හටගෙන ක්‍ර‍මයෙන් වැඩී අනුන් හා තමනුත් විනාශ කරන්නා වූ පාපයකි. පළමුවෙන් මිහිරි ලෙසින් ඇති වී පසුව දුකට පමුණුවන්නා වූ මුල මිහිරි අග නපුරු ධර්මයකි. ක්‍රෝධයෙන් අනුන්ට පහර දෙන අලාභහානි කරන තැනැත්තේ මිහිරක් සේ එය කොට එහි විපාක විඳින්නට වන් කල්හි පසුතැවේ.
  2. උපනාහය යනු නැවත නැවත පැවැත්වීම් වශයෙන් පරණ වූ ක්‍රෝධය යි. එයට වෛරය යි ද එදිරිය යයි ද කියති. එය දීර්ඝ කාලයක් පවත්නා වූ පාපයකි. සමහර විට ජාති බොහෝ ගණනක් මුළුල්ලෙහි ද පවතී. ඔවුනොවුන්ට වෛර කිරීමෙන් ඒ දෙපක්ෂය ම මෙලොව ද පිරිහී මරණින් මතු අපායට ද යති. ජාති බොහෝ ගණනක් පවත්නා වෛරයක් වුවහොත් එයින් වාර බොහෝ ගණනක් අපායට පැමිණිය හැකි ය. අවසන් නො වන පාපයක් වූ මේ වෛරය ඉතාමත් අනර්ථ දායක ය. වෛරයක් ඇති වුවහොත් එය දිගින් දිගට පවත්වාගෙන නො ගොස් සමාදාන වී වහා කෙළවර කර ගත යුතුය. සමාදානයෙන් මිස අනුන්ට පීඩා කිරීමෙන් වෛරය කෙළවර කළ හැකි නො වේ.

“නහි වෙරෙන වෙරානී - සම්මන්තීධ කුදාචනං

අවෙරෙන ච සම්මන්ති - එස ධම්මෝ සනන්තනො”

යනුවෙන් වෛර නො කිරීමෙන් ම මිස වෛර කිරීමෙන් කිසි කලෙක වෛරයක් කෙළවර නො වන බව බුදුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය.

  1. අනුන් විසින් තමාට කළ උපකාර අමතක කිරීම් වශයෙන් නැති කර දැමීම මක්ඛ නම් වේ. එය කෙළෙහි ගුණ නො සැලකීම යයි ද කියනු ලැබේ. කෙළෙහි ගුණ සැලකීම උතුම් ගුණයෙකි. සත්පුරුෂ ධර්මයෙකි. කෙළෙහිගුණ නොසලකන්නෝ අසත්පුරුෂයෝ ය. පාපියෝ ය.
  2. පලාසය යනු ගුණවතුන් හා තමා සම කොට සිතන ස්වභාවය ය. තමාගේ තත්ත්වය වටහා ගැනීම තරම් නුවණ නැත්තෝ දුශ්ශීල වූ තමා සිල්වතුන් හා සම කොට සිතති. නූගත් වූ තමා උගතුන් හා සම කොට සිතති. අපණ්ඩිත වූ තමා පණ්ඩිතයන්ට සම කොට සිතති. දුබල වූ තමා බලවතුන්ට සම කොට සිතති. දිළිඳු වූ තමා පොහොසතුන්ට සම කොට සිතති. එය පලාසයයි. එසේ සිතන්නා වූ අඥයෝ ගරු කළ යුත්තන් හට ගරු නො කොට කීකරු විය යුත්තන්ට අකීකරු වී ගුරුකම් ගත යුත්තන්ගෙන් ගුරුකම් නො ගෙන දෙලොවින් ම පිරිහෙති.
  3. ඊර්ෂ්‍යාව යනු අනුන්ට සම්පත් ඇති බව නුරුස්නා ස්වභාවය ය. ඊර්ෂ්‍යාකාරයා බොහෝ සතුරන් ඇත්තා වූ ලෝකයාට අප්‍රිය වූ පුද්ගලයෙක් වේ. මරණින් මතු ද එයින් අපායෙහි උපදී. මිනිස් ලොව උපන් කල්හි ද දිළිඳු වේ.
  4. මාත්සර්‍ය්‍යය යනු තමාගේ දෙය අනුන්ට අයිතිවීමට හා එයින් අනුන්ට යම්කිසි ප්‍රයෝජනයක් වෙනවාට නො කැමති ස්වභාවය යි. මසුරු බව ය යනු ද එයට නමෙකි. මසුරෝ කිසිවක් පරහට නො දී බොහෝ සෙයින් මරණින් මතු ප්‍රේතයෝ වෙති. සමහර මසුරෝ තමන්ගෙන් යමක් අනුන්ට දෙනවා තබා අනෙකකු ඔහුගේ දෙයක් අනෙකකුට දෙනවාට ද කැමති නො වෙති. අනුන් දෙනවාට ද නො කැමති බව වූ තද මසුරු බවට කදරියතාව යයි කියනු ලැබේ. තද මසුරෝ දෙන්නවුන් වළක්වා ඔවුන් ලබන පිනට ද ප්‍ර‍තිග්‍රාහකයන්ට ලැබෙන ලාභයට ද අන්තරාය කොට මරණින් මතු නරකයට යෙති.

අනුන් කරන පිනක් කිසි කලෙක නො වැළැක්විය යුතුය. වැළැක්වීම මහත් පාපයකි. ඒ බව නොදත් ඇතැම්හු යමකු සිය ධනය වියදම් කොට පිනක් කරන්නට සැරසෙන කල්හි ඔය තරම් ඕවාට වියම් කරලා කොහොම ද, තමන්ටත් තිබෙන්න ඕනෑ නොවේ ද? යනාදීන් අනුකම්පාවෙන් මෙන් කියා පින් කිරීම වළකති. පිනට බාධා කෙරෙති. මහත් කොට කරන්නට යන පින්කම කුඩා හෝ කරවති. එය මහත් පාපයක් බව දැන එබඳු වැඩවලින් පරිස්සම් වෙත්වා!

  1. මායාවය යනු තමා නොයෙක් පව්කම් කරමින් ඒවා සඟවා ගෙන ගුණවතකු සේ පෙනී සිට ලෝකය රවටන ස්වභාවය යි.
  2. සාඨෙය්‍ය යනු බොරු මෛත්‍රිය, බොරු කරුණාව, බොරු හිතවත්කම්, බොරු නෑකම් මිතුරු කම් දක්වමින් අනුන් රවටන්නා වූ ස්වභාවය ය. තමා කෙරෙහි නැති ගුණ දක්වන ස්වභාවය ය. “කෛරාටික ගතිය” යනුද එයට ම නමෙකි. කෛරාටිකයා ආඳා වැනිය. ආඳා මසුන්ට වලිගය දක්වා තමා ද මසකු බව අඟවා ඔවුන් මුළාකරයි. සර්පයන් දුටු කල වලිගය සඟවා හිස දක්වා තමා ද ඔවුන්ගේ වර්ගයේ කෙනකු බව අඟවා සර්පයන් මුළා කරයි. එසේ ඒ ඒ තැනැත්තන් සතුටු වන සේ කථා කොට අනුන්ගෙන් ගත හැකි වස්තුවක්, ගත හැකි වැඩක් ගැනීම කෛරාටිකයාගේ ස්වභාවය ය. කෛරාටික කම් කිරීම ඒ මොහොතට වාසියක් සේ පෙනෙතත් හසුවුණු කල මෙ ලොව නොයෙක් කරදරවලටත් මරණින් මතු අපායට යාමටත් හේතු වන පාපයකි.
  3. ථම්භය යනු ධර්මයට හා මා පිය ගුරුවරාදි නැමිය යුතු තැනැත්තන්ට ද නො නැමෙන ස්වභාවය යි. නැමිය යුත්තාට කීකරු විය යුත්තාට නැමෙන කීකරු වන ස්වභාවය දෙ ලොව වැඩ සිදු වීමට හේතුවකි. ධර්මයට නො නැමෙන්නා වූ උතුමන්ගේ, අවවාදයට අනුශාසනයට නොනැමෙන කීකරු නොවන තැනැත්තා නො මඟ ගොස් දෙලොවින් ම පිරිහෙන්නේ ය. සෑම දෙයට ම සෑම දෙනාට ම නැමෙන ස්වභාවය ද ලාමක ය. එද පිරිහීමට හේතුවකි.
  4. සාරම්භය යනු අනුන් යටපත් කරනු කැමැත්තෙන් අනුන්ට ඉහළින් වැඩ කරන ස්වභාවය ය. සාරම්භය ඇත්තේ ද, යම් කිසිවක් අනුන් එක් වරක් කරන කල්හි තෙමේ දෙතුන් වරක් කරයි.

අනුන් රුපියලක් වියදම් කරන තැනදී තෙමේ රුපියල් දෙක තුනක් වියදම් කරයි. අනුන් එක වචනයකින් තමාට අපහාස කළහොත් තෙමේ වචන හත අටකින් අනෙකාට බණී. අනුන් අතින් ගැසුවහොත් තෙමේ පොල්ලකින් ගැසීම හෝ පිහියෙන් ඇණීම හෝ කරයි. කුසල් කිරීමෙහි ද අනුන් එක රුපියලක් පිනට දෙන කල්හි තෙමේ රුපියල් හත අටක් දෙයි. අනුන් එක් වරක් වන්දනාවට යන කල්හි තෙමේ දෙතුන් වරක් යයි. අනුන් එක් වරක් දන් දෙන කල්හි තෙමේ දෙතුන් වරක් දන් දෙයි. සාරම්භය පාපයක් බැවින් එසේ මානනිඃශ්‍රිත ව සාරම්භයාගේ වශයෙන් කුසල් කරන්නට යෑම නුසුදුසු ය. අනුන් යටපත් කොට තමා ඉහළින් සිටීමේ අදහසින් තොරව අනුන් කරනවාට වඩා පින් කිරීමත්, අනුන් කරනවාට වඩා හොඳින් පින් කිරීමත් යහපති.

  1. මානය යනු මා ද රොඩ්ඩක් මෙන් අහක දැමිය යුත්තකු නොවන එක්තරා වටිනා වැදගත් කෙනෙක් වෙමි යයි තමා උසස් කොට මැන ගන්නා ස්වභාවය ය.
  2. බලවත්කම් ධනවත්කම් උගත්කම් තනතුරු ආදියේ අනුග්‍ර‍හය ලැබීමෙන් සාමාන්‍ය මානය වැඩී බලවත් වී මොවුන්ට කුමක් කළහැකි ද? කුමක් තිබේ ද? මොවුහු කුමක් දනිත් ද? යනාදීන් අන්‍යයන් පහත් කොට, තමා කොඩියක් මෙන් කොතක් මෙන් උසස් කොට ගන්නා බලවත් මානයක් ඇති වේ. එයට අතිමානය යි කියනු ලැබේ.
  3. මදය යනු පොහොසත්කම් උගත්කම් කුලවත්කම් බලවත්කම් ආදිය නිසා උඩඟුවීමෙන් ඇති වන්නා වූ මත්වීම ය. මානයෙන් මත්වූවෝ සුරාවෙන් මත්වූවන් මෙන් ම කළ යුත්ත නො කර හැර, නො කළ යුත්ත කොට දෙ ලොවින් ම පිරිහෙති. සුරාමදය පවත්නේ පැය ගණනකි. එබැවින් එයින් එතරම් නපුරක් නැත. මේ මදය අවුරුදු ගණන් නොසන්සිඳී පවතී. සමහර විට මරණය තෙක් පවතී. එබැවින් මෙය ඉතාම අනර්ථදායක ය.
  4. ප්‍ර‍මාදය යනු කුශල පක්ෂය අමතක කොට කුශල පක්ෂයට නො බැස පස්කම් සැප විඳීමට හා පව් කිරීමට ද බැස ගෙන සිටින ස්වභාවය ය.

සතර අගතිය

  1. ඡන්දාගතිය (2) දෝසාගතිය ය (3) භයා ගතිය ය (4) මෝහාගතිය යයි අගති සතරෙකි. අගතිය යනු ද එක්තරා පව් කොටසකි.
  2. ඡන්දාගතිය යනු යම් කිසිවකුට ඇති ඇල්ම නිසා යුක්තිය ඉක්මවා ඔහුට වාසි වන සැටියට හා අනෙකාට අවාසි වන සැටියට ක්‍රියා කිරීම ය.
  3. දෝසාගතිය යනු ද්වේෂය නිසා විරුද්ධකාරයාට අවාසි වන සැටියට යුක්තිය ඉක්මවා ක්‍රියා කිරීම ය.
  4. භයාගතිය යනු යම් කිසිවකුට බියෙන් ඔහුට වාසි වන සැටියට යුක්තියට පිටුපා ක්‍රියා කිරීම ය.
  5. මෝහාගතිය යනු යුක්ත්‍යයුක්ති විසඳාගැනීමේ නුවණ මඳකමින් යුක්තිය ඉක්මවා ක්‍රියා කිරීම ය.

“ඡන්දා දොසා භයා මොහා - යො ධම්මං අති වත්තති

නිහීයති තස්ස යසො - කාලපක්ඛෙව චන්දිමා”

යමෙක් ඡන්දය නිසා ද, ද්වේෂය නිසා ද, භය නිසා ද, මෝහය නිසා ද යුක්තිය ඉක්මවා ක්‍රියා කෙරේ ද ඔහුගේ යසස කාලපක්ෂයේ චන්ද්‍ර‍යා පිරිහෙන්නාක් මෙන් පිරිහෙන්නේ ය” යනු අදහසයි.

පඤ්ච නීවරණයෝ

(1) කාමච්ඡන්ද නීවරණය ය. (2) ව්‍යාපාද නීවරණය ය (3) ථීනමිද්ධ නීවරණය (4) උද්ධච්ච කුක්කුච්ච නීවරණය (5) විචිකිච්ඡා නීවරණය යි නීවරණ නම් වූ අකුශල ධර්ම පසෙක් වේ. සත්ත්වයාගේ සිත කුශලයට යොමු වන්නට නොදී වසා ගෙන සිටින බැවින් ඒ ධර්මයෝ නීවරණ නම් වෙති.

(1) කාමච්ඡන්ද නීවරණය යනු රූපාදි පඤ්චකාම විෂයෙහි ඇලෙන්නා වූ ලෝභය ය.

(2) ව්‍යාපාද නීවරණය යනු අකුශල මූලයන් ගෙන් එකක් වූ ද්වේෂය ය.

(3) ථීනමිද්ධ නීවරණය යනු කටයුත්තෙහි මනා කොට නොයෙදී හැකිළෙන්නා වූ පසු බසින්නා වූ ස්වභාවය ය.

(4) උද්ධච්චකුක්කුච්ච නීවරණය යන මෙහි උද්ධච්ච යනු සිතෙහි නො සන්සුන් ස්වභාවය ය, කුක්කුච්චය යනු කළා වූ පව් නො කොට ඉක්මවන ලද කුශලය පිළිබඳව ද ඇති වන්නා වූ පශ්චාත්තාපය ය. මේ දෙකින් ම සිත නොසන්සුන් කරන බැවින් ධර්ම දෙකක් වුව ද නීවරණ වශයෙන් එකක් කොට දක්වා තිබේ.

(5) විචිකිච්ඡා නීවරණය යනු බුද්ධාදීන් පිළිබඳ වූ සැකය ය.

(විස්තර සඳහා චත්තාළීසාකාර මහා විපස්සනා භාවනා පොත බලන්න.)

ක්ලේශ දශය

ලෝභය ය, දෝසය ය, මෝහය ය, මානය ය, දිට්ඨිය ය, විචිකිච්ඡාව ය, ථීනය ය, උද්ධච්චය ය, අහිරිකය ය, අනොත්තප්පය ය යන මේ දශය ක්ලේශයෝ ය. මෙහි පෙර නො කියවුණු ධර්ම ඇත්තේ අහිරිකය අනොත්තප්පය යන දෙක පමණකි. අහිරිකය යනු පවට ලජ්ජා නො වන ස්වභාවය ය. අනොත්තප්පය යනු පවට බිය නො වන ස්වභාවය ය. විස්තර වශයෙන් ක්ලේශයෝ එක් දහස් පන්සිය දෙනෙක් වෙති. (විස්තර අප විසින් සම්පාදිත “කෙලෙස් එක් දහස් පන්සියය” නමැති පොත කියවා බලන්න.)

මෙතෙකින් අකුශල විස්තරය නිමියේ ය.

දශ පුණ්‍ය ක්‍රියා වස්තු

  1. දානය
  2. සීලය
  3. භාවනාව
  4. අපචායනය
  5. වෙය්‍යාවච්චය
  6. පත්ති දානය
  7. පත්තානුමෝදනාව
  8. ධම්ම සවනය
  9. ධම්ම දේශනාව
  10. දිට්ඨිජ්ජු කම්මය

යි පින් කිරියවත් දසයෙකි. දස පින් කිරියවත් සංගෘහිත ගාථාවක් මෙසේ ය:

දානං සීලං ච භාවනා - වෙය්‍යාවච්චාපචායනා

පත්තානුමොදනා පත්තිදානං - ධම්මස්ස දෙසනා

සවනා දිට්ඨිජ්ජුකම්ම - මිච්චේවං දසධා ඨිතං

1. දානය

පූජා වශයෙන් හෝ අනුග්‍ර‍හ වශයෙන් හෝ තමා අයත් වස්තුවක් පරහට පරිත්‍යාග කිරීම දානය යි. දෙන වස්තුව ය, දීම ය යන දෙකට ම දාන යන වචනය ව්‍යවහාර කරනු ලැබේ. දානමය කුශලය වනුයේ දෙන වස්තුව නො ව, දීමය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් දීම සිදු කරන්නා වූ චේතනාව ය. ත්‍යාග යනු ද දක්ෂිණා යනු ද යාග යනු ද එයට ව්‍යවහාර කරන්නා වූ නාමයෝ ය.

දීම සාමාන්‍යයෙන් එකක් වුව ද දානය ය, පූජාව ය යන මොවුන් ගේ වශයෙන් දෙවැදෑරුම් වේ. ගුණයෙන් තමා හා සම වූ ද තමාට හීන වූ ද තැනැත්තන් හට අනුග්‍ර‍හ වශයෙන් දීම දාන නම් වේ. ගුණයෙන් තමාට උසස් වූ බුද්ධාදි උත්තමයන් වහන්සේලාට දීම පූජා නම් වේ. දාන, පූජා දෙකට අයත් නොවන්නා වූ කුලිය දීම අඹුදරුවන්ට දීම යනාදිය පුණ්‍ය සංඛ්‍යාවට නො ගනු ලැබේ.

පූජා ප්‍රභේද

වස්තු පූජා ය, ස්තුති පූජා ය, ප්‍ර‍තිපත්තිය පූජාය යි පූජාව ත්‍රිවිධ වේ. ආහාරපාන වස්ත්‍ර‍ ගන්ධ දීප ධූප පුෂ්පාදියෙන් පිදීම වස්තු පූජාව ය. භක්තිමත් චිත්තයෙන් ගෞරව පෙරදැරි ව බුද්ධාදි උත්තමයන් වහන්සේලාට ගී ගැයුම් ආදියෙන් ස්තුති පිරිනැමීම ස්තුති පූජාව ය. එය සෑම ආගමක ම වාගේ ඇත්තා වූ පූජා විධියකි. එය ඉතා පුරාණයේ පටන් ම බෞද්ධයන් විසින් කරගෙන ආවා වූ ද දැනුදු කරන්නා වූ ද පින් කමක් නමුත් බොහෝ බෞද්ධයන්ට තමන් කරන ඒ දෙය ගැන දැනුමක් නැත. පැරණියන් විසින් වන්දනා ගාථා පිළියෙල කර තිබෙන්නේ ස්තුති පූජාව සඳහා ය. වන්දනා ගාථා ස්තුති ගීතිකාවෝ ය. වන්දනා වාක්‍යයෝ ද ස්තුති වාක්‍යයෝ ය. ඒවා කියා රත්නත්‍ර‍යට ස්තුති පිරිනැමීම බොහෝ අනුසස් ඇති පින් කමෙකි. වචන ස්වල්පයකින් කරන ස්තුති පූජාවෙන් ලැබෙන පිනට වඩා බොහෝ වචන, බොහෝ ගුණ කියා ස්තුති පිරිනැමීමෙන් මහත් වූ පිනක් අත්පත් වේ. ස්තුති ගීතිකා, ස්තුති වාක්‍ය වූ වන්දනා ගාථා සහ වන්දනා වාක්‍යයන් හැකි පමණ උගෙන ඒවා කියා වැඳීමෙන් වඩ වඩා පින් සිදු වේ. එය ගැන නොදත් ඇතැම්හු වන්දනා ගාථාවලට ද බොහෝ ගාථා කියා වන්දනා කිරීමට ද නින්දා කෙරෙති. එය ඔවුන්ගේ නො දැනීම පැවසීමකි. පෙර බුදුවරයන් ගේ සසුන්වල ද මේ පූජාව පැවති බව අපදාන පාළියෙන් පෙනේ.

බුද්ධ කාලයේ වැඩ සිටි මහරහතුන් වහන්සේලා අතුරෙන් එක් නමක් වූ භූත ස්ථවිරයන් වහන්සේ සිද්ධත්ථ නම් බුදුන් වහන්සේගේ කාලයේ “සේන” නම් බ්‍රාහ්මණයෙක්ව බුදුන් වහන්සේ කෙරෙහි පැහැදී “උසභං පවරං වීරං” යනාදි ගාථා සතරකින් ස්තුති කොට ඒ පිනෙන් සසර බොහෝ කලක් දෙවි මිනිස් සැප ලබා අප බුදුන් කල, සාකෙත නුවර සිටු පවුලක ඉපද වැඩිවිය පැමිණ, බුදුන් වහන්සේගෙන් දහම් අසා පැවිදි ව “අජකරණි” නම් ගං තෙර ලෙනක වෙසෙමින් මහණ දම් පුරා සව් කෙලෙසුන් නසා රහත් ව නිවන් ලැබූ සේක. උන්වහන්සේගේ ස්ත්‍රෝතය මෙසේ ය:

  1. උසභං පවරං වීරං - මහේසිං විජිතාවිනං
    සුවණ්ණවණ්ණං සම්බුද්ධං - කො දිස්වා නප්පසීදති.
  2. හිමවා යථා අපරිමෙය්‍යා - සාගරොව දුරුත්තරො
    තථෙව ඣානං බුද්ධස්ස - කො දිස්වා නප්පසීදති.
  3. වසුධා යථා අප්පමෙය්‍යා - චිත්තාමල මටංසිකා
    තථෙව සීලං බුද්ධස්ස - කො දිස්වා නප්පසීදති.
  4. අනිලඤ්ජසො ච සම්බුද්ධො - යථා කාසො අසංඛියො,
    තථෙව ඤාණං බුද්ධස්ස - කො දිස්වා නප්පසීදති.

මහ රහතන් වහන්සේලා අතුරෙන් කෙනකු වූ “සෝභිත” ස්ථවිරයන් වහන්සේ සුමේධ බුදුන් වහන්සේ ගේ කායේ දී එක්තරා තවුසකුව සිට බුදුන් වහන්සේ දැක පැහැදී ගාථා සයකින් උන් වහන්සේට ස්තුති පූජාවක් කළහ. සුමේධ බුදුන් වහන්සේ භික්ෂු සංඝයා මැද එහි අනුසස් මෙසේ ප්‍ර‍කාශ කළ සේක.

  1. යෝ මෙ ඤාණං පකිත්තෙසි - පසන්නෝ තෙන චේතසා
    තමහං කිත්තයිස්සාමි - සුණාථ මම භාසතෙ
  2. සත්තසත්තති කප්පානි - දෙවකෛ රමිස්සති
    සහස්සක්ඛත්තුං දේවින්දෝ - දෙවරජ්ජං කරිස්සති.
  3. අනෙකසතක්ඛත්තුං - චක්කවත්ති භවිස්සති,
    පදෙසරජ්ජං විපුලං - ගණනාතො අසංඛියං
  4. දෙව භුතො මනුස්සො වා - පුඤ්ඤකම්මසමාහිතො
    අනුනමන සංකප්පො - තික්ඛපඤ්ඤො භවිස්සති.
  5. තිංසකප්ප සහස්සම්හි - ඔක්කාක කුල සම්භවො
    ගොතමො නාම නාමෙන - සත්ථා ලොකෙ භවිස්සති.
  6. අගාරා අභිනික්ඛම්ම - පබ්බජිස්සත්‍යකිඤ්චනො
    ජාතියා සත්තවස්සොව - අරහත්තං ඵුසිස්සති.

තේරුම:

  1. යමෙක් සිය සිතින් පහන් වූයේ මාගේ ඤාණයට ප්‍ර‍ශංසා කළේ ද එයින් ඔහුට වන විපාකය පවසන්නෙමි. කියන්නා වූ මාගේ සමීපයෙන් එය අසව්.
  2. මේ තෙමේ සත් සැත්තෑවක් කල්පයන්හි දෙව්ලොව ඉපිද සතුටු වන්නේ ය. දේවරාජ වූයේ දහස් වරෙක දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
  3. නොයෙක් සිය ගණන් වාරවල චක්‍ර‍වර්ති රජවන්නේ ය. ගණන් නැති පමණ වාරවල මහත් වූ ප්‍රදේශ රාජ්‍යයන් ලබන්නේ ය.
  4. හෙතෙමේ දෙවි වූයේ ද මිනිස් වූයේ ද පින් කරන්නා වූ නො අඩු කල්පනා ඇත්තා වූ තියුණු නුවණැතියෙක් වන්නේ ය.
  5. කල්ප තිස් දහසකින් මතු ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් “ගෞතම” නම් වූ ශාස්තෘ වරයෙක් ලෝකයෙහි උපදින්නේ ය.
  6. ඒ සස්නෙහි මේ තෙමේ ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ ය. ඉපදීමෙන් සත් අවුරුදු වයසේ ම අර්හත්වයට පැමිණෙන්නේ ය යනු ඒ ගාථාවල තේරුම ය.

“සෝභිත” ස්ථවිරයන් වහන්සේගේ බුද්ධ ස්තෝත්‍ර‍ය මෙසේ ය:

  1. තුවං සත්ථා ච කෙතු ච - ධජො යූපො ච පාණිනං
    පරායණො පතිට්ඨා ච - දීපො ච දීපමුත්තමො
  2. තෙ පුඤ්ඤස්සනො වීරො - තාරෙසි ජනතං තුවං
    නත්ථඤ්ඤො තාරකො ලොකො - තචුත්තරිතරො මුනි
  3. සක්කා භවෙ කුසග්ගෙන - පමෙතුං සාගරුත්තමො
    නත්වෙව තව සබ්බඤ්ඤූ - ඤාණං සක්කා පමෙතවේ
  4. තුලා දණ්ඩේ ඨපෙත්වාන - මහිං සක්කා පමෙතවේ
    නත්වෙව තව පඤ්ඤාය - පමාණං අත්ථි චක්ඛුමා
  5. ආකාසො පමිතුං සක්කා - රජ්ජුයා අංගුලීහිපි
    නත්වෙව තව සබ්බඤ්ඤූ සීලං සක්කා පමෙතවෙ
  6. මහාසමුද්දෙ උදකං - ආකාසෙ ච වසුන්ධරා
    පරිමෙය්‍යානි එතානි - අප්පමෙය්‍යාසි චක්ඛුමා

ආයුෂ්මත් “අධිමුත්ත” මහා රහතන් වහන්සේ ද පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ දී පැවිදි වසන සේක්, බික්සඟන පිරිවරා මඟ වඩනා බුදුන් වහන්සේ දැක සුවඳින් පුදා “සමුද්ධරංසි මං ලොකං” යනාදීන් ගාථා දහසකින් බුදුන් වහන්සේට ස්තුති කළහ. බුදුන් වහන්සේ ද මොහු අනාගතයෙහි කල්ප ලක්ෂයකින් මතුයෙහි “ගෞතම” බුදුන්ගේ සස්නෙහි පැවිදිව ෂඩභිඥා ඇති රහත් කෙනෙක් වන්නේ යයි වදාළ සේක. ස්තුති පූජාවේ අනුසස් කියන ලද කථා තුනෙන් දත යුතුය. විස්තර ථෙරගාථා, අපදාන වලින් දත යුතු ය.

කුශලයන්ගේ ද්විහේතුක ත්‍රිහේතුක භේදය

අලෝභය, අද්වේෂය, අමෝහය යි කුශල චිත්තය හා සම්ප්‍රයෝග වන හේතු ධර්ම තුනෙකි. ඒවාට කුශල මූලයෝ යි ද කියනු ලැබේ. එහි අලෝභය යනු අන්ධකාරය නසන ආලෝකය සේ ඒ ඒ වස්තූන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් ඇතිවන්නා වූ ලෝභයට විරුද්ධ වූ ලෝභය දුරු කරන්නා වූ ස්වභාවයෙකි. ලෝභ නැති බව ම අලෝභය යි වරදවා නො ගත යුතු ය. අද්වේෂය යනු ද්වේෂයට විරුද්ධ ස්වභාවයෙකි. එනම් මෛත්‍රිය යි. අමෝහය යනු ඥානය ය.

මාපියාදීන් විසින් චෛත්‍යාදියට වඳිනු දක්නා වූ මල් පහන් ආදියෙන් පුදනු දක්නා වූ බාල දරුවෝ තුමූ ද අනුන් කරන නිසා එසේ කරති. එහෙත් බුද්ධාදීන්ගේ ගුණ හෝ කර්ම - කර්ම ඵලය හෝ ඒ දරුවෝ නො දනිති. ඒවා නො දත් මුත් ඔවුන්ගේ ඒ ක්‍රියාවෝ කුශලයෝ වෙති. නො දැන කරන්නා වූ ඒ කුශලයන්හි අලෝභද්වේෂ දෙක මුත් අමෝහය නො ලැබේ. එබැවින් ඒවා ද්විහේතුක කුශලයෝ ය. ද්විහේතුක කුශලය දුබල ය. විපාක දීමේ දී මඳ වූ ද දුබල වූ ද විපාකයක් ඇති කරන්නේ ය. යම් කිසිවකු කුශලයක් කරන කල්හි යටත් පිරිසෙයින් කර්ම - කර්ම ඵල දෙකවත් දැන කරන්නේ නම් එය අලෝභය, අද්වේෂය, අමෝහය යන හේතු තුනෙන් යුක්ත වීමෙන් ත්‍රිහේතුක කුශලයක් වන්නේ ය. ත්‍රිහේතුක කුශලය බලවත් ය. එයින් බොහෝ සැප සම්පත් ගෙන දෙනු ලැබේ. මේ ද්විහේතුක ත්‍රිහේතුක භේදය සෑම කුශලයක් සම්බන්ධයෙන් ම කිය යුතු ය.

කම්පල ගැන සැලකීමක් නො කොට ලෝකාපවාදයෙන් ගැලවීම පිණිස ද, අනුන් දෙන තැන දී නො දී සිටීමට ලජ්ජාව නිසා ද, දෙන්නට කියන තැනැත්තා අමනාප වේය යන බිය නිසා ද, ගරු නම්බු ලබා ගැනීම පිණිස ද, තවත් එබඳු කරුණු නිසා ද දෙන්නා වූ තැනැත්තාට වන්නේ ද්විහේතුක කුශලය ය. යම් කිසිවකු විසින් දෙන්නට නියම කරන නිසා හෝ ප්‍ර‍තිග්‍රාහකයාගේ ඉල්ලීම නිසා හෝ කුල සිරිත් වශයෙන් හෝ තමාට ම දෙන්නට සිත් වීම නිසා හෝ අන් කරුණක් නිසා හෝ දෙන තැනැත්තා කර්ම - කර්ම ඵලය දක්නා ඥානය පෙරදැරි කරගෙන ප්‍ර‍තිග්‍රාහකයන්ගේ ගුණ සලකා ගෙන දෙන්නේ වේ නම්, ඔහුට එයින් අලෝභද්වේෂා මෝහ සඞ්ඛ්‍යාත හේතුත්‍රයෙන් යුක්ත බැවින් ත්‍රිහේතුක නම් වූ දානමය කුශලය සිදු වේ. ද්විහේතුක කුශලයෙන් ද්විහේතුක හෝ අහේතුක ප්‍ර‍තිසන්ධියක් ඇති කරනු ලැබේ. අහේතුක ද්විහේතුක ප්‍ර‍තිසන්ධි ඇත්තෝ ඒ ජාතියේ ධ්‍යාන ඉපදවීමට හා සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පැමිණ නිවන් දැකීමට ද අභව්‍යයෝ ය. ත්‍රිහේතුක කුශලය ද උත්කෘෂ්ටෞමක වශයෙන් දෙවැදෑරුම් වේ. ත්‍රිහේතුකෝත්කෘෂ්ට කුශලයෙන් ත්‍රිහේතුක ප්‍ර‍තිසන්ධිය ඇති කරනු ලැබේ. ත්‍රිහේතුකෞමක කුශලයෙන් ද්විහේතුක ප්‍ර‍තිසන්ධිය ගෙන දෙනු ලැබේ. ත්‍රිහේතුක ප්‍ර‍තිසන්ධි ඇත්තා වූ ත්‍රිහේතුක පුද්ගලයෝ ම ඒ ජාතියේ දී ම නිවන් දැකීමට සුදුස්සෝ වෙති.

චේතනා තුන

දානමය කුශලය උසස් පරිද්දෙන් ඵල දානය කරන්නක් වීමට පූර්ව චේතනාව ය, මුඤ්චන චේතනාවය, අපර චේතනාවය යන චේතනා තුන යහපත් විය යුතු ය. පූර්ව චේතනාව යනු දාන වස්තු සැපයීම් පිළියෙළ කිරීම් ආදි වශයෙන් දාන වස්තුව ප්‍ර‍තිග්‍රාහකයන්ගේ අතට පත් කිරීමට පළමු ඒ දාන ක්‍රියාව සම්බන්ධයෙන් ඇතිවන්නා වූ චේතනා රාශිය ය. මුඤ්චන චේතනාව යනු දාන වස්තුව ප්‍ර‍තිග්‍රාහකයන්ට පිරිනමන්නා වූ හෙවත් ප්‍ර‍තිග්‍රාහකයන් අතට පත් කරන්නා වූ චේතනාව ය. අපර චේතනා යනු දාන වස්තුව ප්‍ර‍තිග්‍රාහකයන්ට පිරිනැමීමෙන් පසු එය සම්බන්ධයෙන් ඇති වන්නා වූ චේතනා රාශිය ය.

පූර්ව චේතනාව යහපත් වීමට පළමුවෙන් කළ යුතු වැඩ කරන කරවන කල්හි මතු සම්පත් ලැබීමට අනුගාමික නිධානයක් කරමිය කියා හෝ මරණින් හැර යන්නට සිදුවන ධනය ගෙන යෑමට පිළියෙළ කරමිය කියා හෝ, අසාර වූ ධනයෙන් ගත හැකි සාරය ගනිමිය කියා හෝ, සසරට පිහිටක් කර ගනිමිය කියා හෝ සසරින් එතරවීමට උපායක් කරමිය කියා හෝ, බුද්ධාදි උත්තමයන් ගිය මඟ යෙමියි කියා හෝ සලකා අත්තුක්කංසන පරවම්භනාදි ලාමක අදහස්වලින් තොරව ක්‍රියා කළ යුතු ය. මුඤ්චන චේතනාව යහපත් වනු පිණිස දාන වස්තුව ප්‍ර‍තිග්‍රාහකයන්ට පිරිනැමීමේ දී ද එසේ ම සලකා පිරිනැමිය යුතු ය. අපර චේතනාව යහපත් වනු පිණිස මාගෙන් මෙතෙක් වියදම් වූයේය යනාදිය සලකා නොසතුටක් ඇති කර නො ගෙන සසරට පිහිටක් කර ගතිමිය යනාදීන් ඒ ගැන සතුට නැවත නැවත ඇති කර ගත යුතු ය. ත්‍රිහේතුක කුශලයක් වුව ද පූර්වාපර චේතනා යහපත් නො වූ කල්හි දුබල වීමෙන් අල්ප විපාක ඇතියක් වන්නේ ය.

“පුබ්බෙව දානා සුමනො - දදං චිත්තාය පසාදයෙ

දත්වා වත්තමනො හොති - එසා යඤ්ඤස්ස සම්පදා”

“දන් දීමට පෙරාතුව ම දානය සම්බන්ධයෙන් සතුටු සිත් ඇත්තේ ව්නේ ය. දෙන කල්හි ද සිත පහදවා ගන්නේ ය. දීමෙන් පසු ද සතුටු සිත් ඇත්තේ වන්නේ ය. මේ කරුණු තුන දානයාගේ සම්පත්තිය වන්නේ ය.

දක්ෂිණා විශුද්ධි සතර

දක්ෂිණා යනු පින් සලකා මතු ඵල ලබනු සඳහා දෙන දානයට නමෙකි. දක්ෂිණා විශුද්ධි සතරය යනු ඒ දානය මහත්ඵල වීම නොවීම දැක්වෙන ක්‍ර‍ම සතරෙකි.

(1) ප්‍ර‍තිග්‍රාහකයා නිසා නොව දායකයාගේ යහපත් බව නිසා මහත්ඵල වන දානයක් ඇත්තේ ය. (2) දායකයාගේ යහපත් බව නිසා නොව ප්‍ර‍තිග්‍රාහකයාගේ යහපත් බව නිසා මහත් ඵල වන දානයක් ඇත්තේ ය. (3) දායක ප්‍ර‍තිග්‍රාහක දෙදෙනාගේ ම නිර්ගුණත්වය නිසා මහත්ඵල නො වන දානයක් ඇත්තේ ය. (4) දායක ප්‍ර‍තිග්‍රාහක දෙදෙනා ම ගුණවත්වීම නිසා ඉතා මහත් ඵල වන දානයක් ඇත්තේ ය.

(1) සිල්වත් දායකයකු විසින් දුශ්ශීල ප්‍ර‍තිග්‍රාහකයකුට දෙන දානය දායකයාගේ යහපත් බව නිසා මහත්ඵල වේ. වෙසතුරු රජතුමා හට නිර්ගුණ වූ ජූජකයාට දන් දී පොළොව පවා කම්පා කළ හැකි වූයේ ද ලොව්තුරු බුදු බව ලැබිය හැකි වූයේ ද දායකයා ගේ ගුණය නිසා දානය මහත් ඵල වන බැවිනි.

(2) දුශ්ශීලයකු විසින් සිල්වතකුට දෙන්නා වූ දානය ප්‍ර‍තිග්‍රාහකයාගේ ගුණය නිසා මහත් ඵල වේ. කැලනි ගං මෝය අසල විසූ කෙවුලෙක් “දීඝසෝම” නම් වූ සිල්වත් භික්ෂූන් වහන්සේ කෙනකුට තෙවරක් පිණ්ඩපාතය දිණ. හේ මරණාසන්නයේ දී “දීඝසෝම තෙරුන් වහන්සේට දුන් දානය මා ගලවා ගන්නේය” යි කියා කාලක්‍රියා කොට දෙව් ලොව උපන්නේ ය.

(3) දුශ්ශීලයකු විසින් දුශ්ශීලයකුට ම දෙන දානය මහත්ඵල නොවන දානය යි. වඩ්ඪමාන නම් ගම විසූ වැද්දෙක් ඥාති ප්‍රේතයකු උදෙසා දුසිල් මහණකට තෙවරක් ම දන් දිණ. ප්‍රේතයාට පින් නො ලැබිණ. තුන්වන වර දී “මගේ දානය දුශ්ශීලයෙක් පැහැර ගන්නේ ය” යි ප්‍රේතයා කෑ ගැසීය. පසුව සිල්වතකු සොයා දන් දී පින් දුන් කල්හි ප්‍රේතයාට පින් ලැබිණ.

(4) සිල්වතකු විසින් සිල්වතකුට ම දෙන දානය උත්තම වේ. දෙපක්ෂය ම ශුද්ධ නිසා ගුණවත් නිසා ඒ දානය විශේෂයෙන් ම මහත්ඵල වේ.

ත්‍රිවිධ දාන සම්පත්තිය

දන් දීම කුඹුරු වැපිරීමක් වැනි ය. කුඹුරක් වැපිරීමෙන් බොහෝ ඵල ලැබෙන්නේ කුඹුරය, වපුරන වියය, ගොවියා ය යන තුන ම යහපත් වූ කල්හි ය. දන්දීමේ දී ප්‍ර‍තිග්‍රාහකයා කුඹුර වැනි ය. දෙන්නා වූ වස්තුව වපුරන විය වැනිය. දායකයා ගොවියා වැනි ය. හොඳ කුඹුරක හොඳ වියක් හොඳ ගොවියකු විසින් වපුල හොත් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන්, යහපත් කුඹර වැනි වූ ගුණවත් ප්‍ර‍තිග්‍රාහකයකු හට, යහපත් විය වැනි වූ ධර්මයෙන් උපයා ගත් වස්තුවක් කුඹුරු වැඩ හොඳින් දත් අනලස ගොවියකු වැනි වූ කම්පල හා ප්‍ර‍තිග්‍රාහකයන්ගේ ගුණ දැන ගැනීමට සමර්ථ වූ ද චේතනාත්‍ර‍ය පිරිසිදු කර ගැනීමට සමර්ථ වූ ද දායකයකු විසින් දෙන ලදුයේ නම් එයින් බොහෝ අනුසස් ඇත්තා වූ මහත් වූ කුශලයක් ලැබෙන්නේ ය. කුඹුරු වැපිරීම ගැන කියන ලද කරුණු තුනෙන් එකක් මුත් නො මනා වුවහොත් එයින් ලැබෙන ඵලය හීන වන්නාක් මෙන් දන් දීම සම්බන්ධයෙන් කී කරුණු තුනෙන් එකකුදු හීන වුව හොත් පුණ්‍ය ඵලය ද හීන වේ. හීනවීමය යි කියනුයේ කිසිම ඵලයක් නො ලැබී යාම නොව, ඵල අඩුවීම ය. හොඳ ම ප්‍ර‍තිග්‍රාහකයකු සොයා ගෙන දන් දීම යහපති. එබැවින්:

“විචෙය්‍ය දානං දාතබ්බං - යත්ථ දින්නං මහප්ඵලං

විචෙය්‍ය දානං දත්වාන - සග්ගං ගච්ඡන්ති දායකා”

යනු වදාරන ලදි. “යම් තැනකට දෙන දන මහත් ඵල වේ ද එතැ සොයා දන් දිය යුතුය. විමසා දන්දීම හේතු කොට දායකයෝ ස්වර්ගයට යන්නාහ.” යනු එහි තේරුමයි.

“විචෙය්‍ය දානං සුගතප්පසත්ථං

යෙ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ

එතෙසු දින්නානි මහප්ඵලානි

බීජානි වුත්ථානි යථා සුඛෙත්තෙ”

“මේ ලෝකයෙහි යමෙක් දක්ෂිණේයයෝ වෙත් ද ඔවුන් සොයා තෝරා ගෙන දන් දීම බුදුන් වහන්සේ විසින් පසස්නා ලද්දේ ය. යම් සේ යහපත් කුඹුරක වපුළ විය බොහෝ ඵල ගෙන දෙන්නේ ද එමෙන් ම තෝරා ගත් ගුණවතුන්ට දෙන දානය බොහෝ ඵල ගෙන දෙන්නේ ය” යනු එහි තේරුම යි.

“උජ්ජංගලෙ යථා ඛෙත්තෙ - බීජං බහුකම්පි රොපිතං

න විපුලං ඵලං හොති - න පි තොසෙති කස්සකං

තථෙව දානං බහුකං - දුස්සීලෙසු පතිට්ඨිතං

න විපුලං ඵලං හොති - නපි තොසෙති දායකං”

“තද වූ බිම් ඇත්තා වූ කුඹුරෙහි බොහෝ බීජයන් රෝපණය කෙළේ ද බොහෝ ඵල ඇති වන්නේ නො වේ. ඒ ගොවිතැන ගොවියා සතුටු කර වන්නක් ද නො වේ. එමෙන් බොහෝ වූ ද දාන වස්තුව දුශ්ශීලයන් හට දෙන ලද්දේ ද මහත් ඵල ඇති කරන්නේ නොවේ. දායකයාගේ සිත සතුටු කරවන්නේ ද නොවේ.” යනු එහි තේරුම ය.

“යථා පි භද්දකේ ඛෙත්තෙ - බීජං අප්පම්පි රොපිතං

සම්මා ධාරං පවෙච්ඡන්තෙ - ඵලං තොසෙති කස්සකං

තථෙව සීලවන්තෙසු - ගුණවන්තෙසු තාදිසු

අප්පකම්පි කතං කාරං - පුඤ්ඤං හෝති මහප්ඵලං”

“යම් සේ යහපත් කුඹුරක රෝපණය කරන ලද්දා වූ මඳ වූ ද බීජ සමූහය මනාකොට වැසි වටනා කල්හි එයින් හට ගන්නා ඵලය ගොවියා සතුටු කරවන්නේ ද, එමෙන් සිල් ඇත්තා වූ ගුණවත් වූ ලාභාලාභාදියෙහි සමාන පැවතුම් ඇත්තා වූ පුද්ගලයන් කෙරෙහි කරන ලද්දා වූ මඳ වූ සත්කාරය වූ පින මහත්ඵල වේ” ය යනු එහි තේරුම යි.

දශ දාන වස්තු

අන්නං පානං වත්ථං යානං - මාලා ගන්ධ විලෙපනං

සෙය්‍යාවසථ පදීපෙය්‍යං - දාන වස්ථු ඉමෙ දස

බත් මාලු කැවිලි පලතුරු ආදි ආහාරය ය, තේ කෝපි කිරි ආදි බොන දෙය ය, වස්ත්‍ර‍ය, ගමනාගමනයට වුවමනා රථවාහනය, මල්ය, සඳුන්, කපුරු ආදි සුගන්ධ වර්ගය, ඇඟ ගල්වන ද්‍ර‍ව්‍යයෝ ය, හිඳ ගැනීමට හා නිදාගැනීමට වුවමනා ඇඳ පුටු කොට්ට මෙට්ට ආදිය ය, ගෙවල් ය, පහන් දැල්වීමට වුවමනා උපකරණය යන මේ දශය දාන වස්තුහු ය යනු මෙයින් දක්වන ලදි.

මේ ගාථාවෙහි දානවස්තු දශයක් දක්වා තිබෙන්නේ ප්‍ර‍ධාන වස්තු දැක්වීමක් වශයෙනි. මත්පැන් ආදි ලොවට අනර්ථය පිණිස පවත්නා දේවල් හැර මනුෂ්‍යයන්ට ප්‍රයෝජනවත් වූ සියල්ල ම දාන වස්තූහුය. මේ දශ දාන වස්තුව දක්වා තිබෙන්නේ ගිහි පැවිදි කාහටත් දිය යුතු වස්තු දැක්වීමක් වශයෙනි. භික්ෂූන් වහන්සේලාට දෙන කල්හි ඒවායින් කප්පිය වස්තුන් පමණක් දිය යුතු ය.

අෂ්ට පානය

පානයන් අතුරෙන් අෂ්ටපානය හා එයට සමාන වන කුඩා ඵලවලින් කරන ලද පානයක් ද භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි ද දිය හැකිය. භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි කැප වූ පාන වර්ගවලට ගිලන්පස යයි ද කියති. අෂ්ට පානය යනු අම්බ පානය, ජම්බු පානය, චෝච පානය, මෝච පානය, මධු පානය, මුද්දික පානය, සාලුක පානය, ඵාරුසක පානය යන මේ අටය. මේ පානයන් භික්ෂූන්ට විකාලයෙහි කැප වන්නේ ඇල් පැනින් හෝ හිරු රැසින් කකාරවා හෝ කළ ඒවා පමණකි. ගින්නෙන් පැසවා කරන ලද්ද කාලයෙහි මිස විකාලයෙහි කැප නො වේ. එහි අම්බ පානය යනු ඉදුණු අඹ ඇල් පැනින් මැඩ පෙරා සීනි සකුරු ආදිය මුසු කොට කරන ලද්දා වූ ද, අමු අඹ කුඩා කැබලිවලට කපා සීනි ආදිය හා ඇල් දියෙහි ලා හිරු රැසින් කකාරා කරන ලද්දා වූ ද පානය යි. ජම්බු පානය යනු දඹපල (ඉදුණු ජම්බුගෙඩි) ඇල් පැනින් මැඩ සීනි සකුරු ආදිය යොදා කළ පානය ය. චෝච පානය යනු ඉදුණු ඇටිකෙසෙල් ගෙඩි ඇල් දියෙන් මැඩ කළ පානය ය. මධු පානය යනු අමු මිදි පල ඇල් පැනින් මැඩ කළ පානය ය. මුද්දික පානය යනු වියළි මුදරප්පලම් ඇල් පැනින් මැඩ කළ පානය ය. සාලුක පානය යනු හෝලු ගෙඩි ඇල් පැනින් මැඩ කළ පානය ය. ඵාරුසක පානය යනු බොරලු දමනු (මසන්ගෙඩි) ඇල් පැනින් මැඩ කළ පානය ය. මෙසේ ම දෙහි දොඩම් සියඹලා ආදි කුඩා ඵලවලින් කළ පානය ද විකාලයෙහි කැප ය.

විනය පර්‍ය්‍යායයෙන් හා අභිධර්ම පර්‍ය්‍යායයෙන් දානයෝ

විනය ක්‍ර‍මයෙන් චීවර දානය ය, පිණ්ඩපාත දානය ය, සේනාසන දානය ය, ග්ලානප්‍ර‍ත්‍යය දානය යි දාන සතරක් දක්වා තිබේ. අභිධර්ම ක්‍ර‍මයෙන් රූප දානය ය, ශබ්ද දානය ය, ගන්ධ දානය ය, රස දානය ය, ස්ප්‍ර‍ෂ්ටව්‍යය දානය ය, ධර්ම දානය යි දාන සයෙකි.

ආමිෂදාන අභයදාන ධර්මදානයෝ

ආමිෂ දානය, අභයදානය, ධර්මදානය යි ද දානය ත්‍රිවිධ වේ. එයින් ආමිෂ දානය යනු ආහාරපාන වස්ත්‍රාදිය දීමය. අභය දානය යනු යම් කිසිවකු රජුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ ගින්නෙන් හෝ දියෙන් හෝ අන්කිසිවකින් හෝ අන්තරායයක් සිදුවන්නට යන කල්හි එයින් මුදවා ඒ පුද්ගලයා ආරක්ෂා කිරීම ය. විපතින් ගලවා ගැනීම ය. මස් පිණිස මරන්නට යන ගව එළු ඌරු කුකුළු ආදි සතුන් වධකයන්ගෙන් බේරා ගෙන නිදහස් කර හැරීම, වෙදකම් කොට රෝගීන් සුවපත් කිරීම, මසුන් වෙසෙන තැන්වල උන් නො මරනු පිණිස ආරක්ෂා පිහිටුවීම, වන සතුන් නො නසනු පිණිස ආරක්ෂා කිරීම, කූඩුවල සිර කර සිටින සතුන් නිදහස් කිරීම යන මේවා අභයදානයෝ ය. තමා විසින් පස් පවින් වැළකීම ද මහත් වූ අභයදාන පසක් වන බව:

“ඉධ භික්ඛවෙ, අරියසාවකො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, පාණාතිපාතා පටිවිරතො භික්ඛවෙ අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති අවෙරං දෙති අබ්‍යාපජ්ජං දෙති, අපරිමාණානං සත්තානං අභයං දත්වා අවෙරං දත්වා අබ්‍යාපජ්ජං දත්වා, අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්‍යාපජ්ජස්ස භාගී හොති. ඉදං භික්ඛවෙ පඨමං දානං මහා දානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්ණං අසංකිණ්ණපුබ්බං න සංකීයති න සංකීයිස්සති අප්පතිකුඩ්ඪං සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි” යනාදීන් අංගුත්තර නිකායෙහි දක්වා තිබේ.

ලාභ කීර්ති ප්‍ර‍ශංසාදිය ගැන අපේක්ෂාවක් නැතිව කරුණාධ්‍යාංශයෙන් පින්පව් හඳුන්වා දීම් වශයෙන් දහම් දෙසීම ධර්ම දානය ය. සත්ත්වයන් නිවන් මගට පමුණුවනු සඳහා ආර්‍ය්‍යසත්‍යයන් දක්වා දහම් දෙසීම ශ්‍රේෂ්ඨතර ධර්ම දානය ය. ධර්මකථිකයන් ලවා ධර්මය කියවීම ද, බණ නො අසන්නන් ලවා බණ ඇස්වීම ද, බණ පොත් පත් ලියවීම හා මුද්‍ර‍ණය කරවීම ද, බණ පොත් මිලට ගෙන පූජා කිරීම ද, ධර්මය ඉගෙන ගන්නවුන්ට පොත පත සපයා දීම ද, ධර්මයාගේ චිරස්ථිතිය සඳහා ධර්මය උගන්වන ගුරුවරයනට හා උගන්නා ශිෂ්‍යයන්ට උපකාර කිරීම ද, පොත් ගුල් දහම් හල් කරවීම ද, ධර්මයාගේ චිරස්ථිතිය හා ව්‍යාප්තිය පිණිස කළ හැකි කිනම් දෙයක් වුවත් කිරීම ද ධර්ම දානය ම වන්නේ ය.

දානයන් අතුරෙන් ධර්ම දානය අග්‍ර‍ දානය වේ. යමකුට සක්වළ ගැබ පුරා අතුරු සිදුරු නැති ව වැඩ සිටින්නා වූ බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මටසිලුටු සිවුරු පිදිය හැකි වේ නම් එය අතිවිශාල චීවර දානයෙකි. ඒ අතිවිශාල ආමිෂ දානයට වඩා එතැනට රැස් වූ පිරිසට අනුමෝදනා වශයෙන් සතර පද ගාථාවකින් දහම් දෙසීම් වශයෙන් කරන ධර්ම දානය ම උතුම් වේ. ඒ මහා චීවර දානය, එක් ගාථාවකින් දහම් දෙසීමේ කුශලයෙන් සොළොස් වෙනි කලාව තරම්වත් නො වටිනා බව දක්වා තිබේ. තවද සක්වළ පුරා වැඩ සිටින බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාට පාත්‍රා පුරා දෙන මහා ආහාර දානයට ද, එසේ ම පාත්‍ර‍ පුරා දෙන මහා ග්ලානප්‍ර‍ත්‍යය දානයට ද, මහා විහාරයන් වැනි විහාරයන් ලක්ෂ ගණනක් කරවා, ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් ලක්ෂ ගණනක් කරවා පවත්වන මහා සේනාසන දානයට ද වඩා, ජේතවනාරාමය සඳහා අනේපිඬු සිටුහු විසින් කළ පරිත්‍යාගයට ද වඩා, සතර පද ගාථාවකින් පවත්වන ධර්මදානය ම උතුම් බව දක්වා තිබේ. කුමක් හෙයින් ද යත්? එබඳු දානයන් දෙන්නාහු දහම් ඇසීම නිසා ම දෙන බැවිනි. මේ සත්ත්වයෝ දහම් නො ඇසුවෝ නම් යටත් පිරිසෙයින් කැඳ සැන්දක් පවා පිනට නො දෙන්නාහු ය. එ බැවින් සියලු ම දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ.

සබ්බදානං ධම්මදානං ජිනාති

සබ්බ රසං ධම්මරසො ජිනාති

සබ්බං රතිං ධම්මරතිං ජිනාති

තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති”

ධර්මදානය තෙමේ සියලු දානයන් දිනන්නේ ය. හෙවත් යට කරන්නේ ය. ධර්ම රසය සියලු රසයන් දිනන්නේ ය. ධම්මරතිය (ධර්මයෙහි ඇල්ම) සියලු රතීන් දිනන්නේ ය. තෘෂ්ණාක්ෂයය සකල දුඃඛය දිනන්නේ ය.

පෞද්ගලික දාන (14) තුදුස

දානය : සාංඝික දානය, පෞද්ගලික දානය යි දෙවැදෑරුම් වේ. එක් පුද්ගලයකුට හෝ පුද්ගලයන් බොහෝ ගණනකට වෙන් වෙන් වශයෙන් හෝ දීම පෞද්ගලික දානය ය. මෙය අසවල් හාමුදුරුවන්ටය මෙය අසවල් හාමුදුරුවන්ටය කියා වෙන් කිරීමක් නැති ව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හට දීම සාංඝික දානය ය. පෞද්ගලික දාන තුදුසක් හා සාංඝික දාන සතක් දැ යි එක් විස්සක් දක්ෂිණා විභඞ්ග සූත්‍රයෙහි දක්වා තිබේ. එහි පෞද්ගලික දාන තුදුස මෙසේ ය.

  1. ලොව්තුරා බුදුනට දෙන දානය,
  2. පසේ බුදුනට දෙන දානය,
  3. රහතුනට දෙන දානය,
  4. අර්හත්ඵලයට පැමිණෙනු පිණිස පිළිපන් තැනැත්තාට දෙන දානය,
  5. අනාගාමි පුද්ගලයාට දෙන දානය,
  6. අනාගාමි ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය,
  7. සකෘදාගාමි පුද්ගලයාට දෙන දානය,
  8. සකෘදාගාමි ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය,
  9. සෝවාන් පුද්ගලයාට දෙන දානය,
  10. සෝවාන් ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය,
  11. සර්වඥ ශාසනයෙන් බැහැර කර්මවාදී ධ්‍යාන ලාභීන්ට දෙන දානය,
  12. සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන සිල්වතුන්ට දෙන දානය,
  13. සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන දුශ්ශීලයන්ට දෙන දානය,
  14. තිරිසනුන්ට දෙන දානය

යන මේ තුදුස පෞද්ගලික දානයෝ ය. තිසරණ ගත උපාසකයෝ ය, පන්සිල් රක්නා උපාසකයෝ ය. අටසිල් නව සිල් දස සිල් රකින්නෝ ය, සාමණේර ශීලය රකින්නෝ ය, උපසම්පදා ශීලය රකින්නෝ ය යන සියල්ලෝ ම සෝවාන් ඵලය ලබනු පිණිස පිළිපන්නෝ ය. එ බැවින් ඔවුන් අතුරෙන් කවරකුට වුව ද දීම දස වන දානය වේ. එහෙත් ඔවුන්ගෙන් ගුණ වැඩි අයට දීම වඩා උසස් දානය වේ. දොළොස් වන දානයෙහි කී ශාසනයෙන් බැහැර වූ පෘථග්ජන සිල්වත්හු නම් පවින් වැළකී දැහැමින් ජීවත් වන්නා වූ අබෞද්ධයෝ ය. තෙළෙස්වන දානයෙහි කී පෘථග්ජන දුශ්ශීලයෝ නම් මසුන් මැරීම් ආදියෙන් අධර්මයෙන් ජීවත් වන අබෞද්ධයෝ ය. ප්‍රාණඝාතාදිය කරන බෞද්ධයා ද තිසරණ ගත් බැවින් දස වන දානයෙහි කී පුද්ගලයන්ට අයත් වේ.

පෞද්ගලික දානයේ විපාක

අහක දැමිය යුතු දෙයක් අහක දමනු වෙනුවට දීමත්, ප්‍ර‍යෝජනය ලබන ගවාදි සතුන්ට ඒ නිසා දීමත්, සාගින්න නිවෙන්නට ප්‍ර‍මාණ නො වන පරිද්දෙන් බත් පිඩක් දෙකක් දීමත් හැර, පින් කැමැත්තෙන් බලු කපුටු ආදි සතකුට කුස පුරා ආහාරයක් දීමෙන් ජාති සියයක දී ආයුෂය, වර්ණය ය, වර්ණය ය, සැපය ය, බලය ය, ප්‍ර‍ඥාවය යන ආනිසංසයෝ ලැබෙත්. පෘථග්ජන දුශ්ශීලයාට දන් දීමෙන් ජාති දහසක දී ද පෘථග්ජන සිල්වතාට දන් දීමෙන් ජාති ලක්ෂයකදී ද සර්වඥ ශාසනයෙන් බැහැර ධ්‍යානලාභීන්ට දන්දීමෙන් ජාති කෝටි ලක්ෂයක දී ද ආයුෂාදි සම්පත් ලැබෙන්නේ ය. සෝවාන් ඵලය පිණිස පිළිපදින තැනැත්තාගේ පටන් ගුණවත් පුද්ගලයන්ට දන් දීමෙහි ආනිසංසය අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය වන්නේ ය.

සාංඝික දාන සත

  1. එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍ර‍මුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ.
  2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන සාංඝික දානය ය.
  3. භික්ෂු සංඝයාට පමණක් දෙන දානය තෙවන සාංඝික දානය ය.
  4. භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය සිවු වැනි සාංඝික දානය ය.
  5. මාගේ දානයට භික්ෂු සංඝයාගෙන් මෙ පමණ භික්ෂූන් වහන්සේලා ද භික්ෂුණී සංඝයාගෙන් මෙ පමණ භික්ෂුණීහු ද පැමිණෙන සේක්වායි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍ර‍ණය කොට පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය පස්වන සාංඝික දානය ය
  6. එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂූන් වහන්සේලාට පමණක් දෙන දානය සවන සාංඝික දානය ය.
  7. එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂුණීන්ට පමණක් දෙන දානය සත්වන සාංඝික දානය ය.

මේ දාන සත අතුරෙන් මෙ කල දිය හැක්කේ තුන්වන, සවන දාන දෙක පමණයි. එක භික්ෂුවකට වුවද සවන සාංඝික දානය දිය හැකි ය. සවන සාංඝික දානය දිය යුතු සැටි මෙසේ ය. සංඝාරාමයකට හෝ සංඝයා වැඩ සිටින තැනකට හෝ ගොස් අසවල් භික්ෂූන් වහන්සේ ය කියා නියමයක් නො කොට මාගේ දානය පිළිගැනීමට මෙ පමණ ගණනක් භික්ෂූන් වහන්සේලා සංඝයාගෙන් ලැබෙන සේක්වායි සංඝ ස්ථවිරයන් වහන්සේට ආරාධනය කොට සංඝයා වෙනුවෙන් පැමිණෙන්නා වූ ඒ භික්ෂූන්ට දානය පිරිනැමිය යුතුය. තමාට දිය හැක්කේ එක් භික්ෂුවකට නම් ඒ මහා සංඝයාගෙන් එක් නමක් වැඩම කරන සේක්වා යි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍ර‍ණය කොට සංඝයා වෙනුවෙන් පැමිණියා වූ කවර භික්ෂුවකට හෝ සංඝරත්නයට දෙමිය යන අදහසින් දන් දුන් කල්හි සවන සාංඝික දානය දුන්නේ වේ. එසේ දීමේදී “ඉමං භික්ඛං භික්ඛුසඞ්ඝස්ස දේම” යන වාක්‍යය කියන්නට වුවමනා නැත. එසේ දෙන කල්හි සංඝයා වෙනුවෙන් පැමිණි භික්ෂුව “සිල්වතෙක්ය ගුණවතෙක්ය” කියා සිත සතුටු කර ගෙන හෝ “දුශ්ශීලයෙක අනුපසම්පන්නයෙක” කියා සිත නො සතුටු කරගෙන හෝ දෙන්නේ නම් ඔහුගේ දානය සාංඝික නො වේ. සාංඝික වන්නට නම් පැමිණෙන භික්ෂුවගේ ගුණාගුණ නො සිතා සංඝයාට දෙන අදහසින් දිය යුතු ය. පැමිණෙන පුද්ගලයා ගැන නොසලකා සංඝරත්නය ගැන ම සලකා දන් දීම බොහෝ දෙනාට අපහසු කාර්‍ය්‍යයෙකි. සඟින් එක් භික්ෂුවක් හෝ භික්ෂූන් වැඩි ගණනක් හෝ ලබා ගෙන දන් දෙන්නවුන්ට පිළිපැදිය යුතු සැටි දැන ගැනීමට අටුවාවෙහි එක් උපාසක මහතකුගේ පුවතක් දක්වා තිබේ. ඒ මෙසේ ය:

පෙර සංඝාවාසයක දායකයකු වූ එක් උපාසක තුමෙක් සාංඝික දානයක් දෙනු පිණිස විහාරයට ගොස් සඟින් එක් නමක් ලැබෙන ලෙස නිමන්ත්‍ර‍ණය කෙළේ ය. ඔහුගේ දානය පිළිගන්නට පැමිණියේ දුශ්ශීල භික්ෂුවකි. උපාසකතුමා ද ඒ භික්ෂුව ගැන දන්නේ ය. එහෙත් ඒ උපාසකතුමා ඉතා ගෞරවයෙන් ඒ භික්ෂුව පිළිගෙන පා සෝදවා උතුම් අස්නක වඩා හිඳුවා සුවඳ දුමින් හා මලින් ද පුදා ඉතා ගෞරවයෙන් දන් දිණි. එදින සවස් කාලයේ පන්සලේ වැඩක් සඳහා උදැල්ලක් ලබා ගැනීමට ඒ භික්ෂුව ඒ උපාසක තැන වෙත පැමිණියේ ය. උපාසක තැන භික්ෂුව දැක හුනස්නෙන් නො නැගීම “ගෙන යනුයි” කියා උදැල්ල භික්ෂුව ඉදිරියට විසි කළේය. එය දුටු මනුෂ්‍යයෝ “මේ භික්ෂුවට දානයට පැමිණි වේලාවේ දී බුදුනට සේ ගරු බුහුමන් කොට දැන් මෙසේ කිරීමට කරුණ කවරේ දැ”යි විචාළහ. උපාසකතුමා, “මා ඒ වේලාවේ දී ගරු බුහුමන් කෙළේ මේ භික්ෂුවට නොව සංඝ රත්නයට ය”යි කී ය. සංඝ රත්නයෙන් නමක් දෙනමක් ලබා ගෙන සවෙනි සාංඝික දානය දෙන්නෝ මේ උපාසකතුමා මෙන් පැමිණෙන භික්ෂූන්ගේ ගුණාගුණ ගැන නො සලකා සංඝ ගුණය ම සලකා දන් දීම කෙරෙත්වා.

සාංඝික දානයේ අනුසස්

“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්‍ර‍භූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද, සංඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි. නත්වෙවාහං ආනන්ද කෙනචි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලික දානං මහ්ඵලතරන්ති වදාමි”

යනුවෙන් ආනන්දය! අනාගත කාලයේ දී භික්ෂූහු ය යන නාමය පමණක් ඇත්තා වූ “කාසාවකණ්ඨ” නම් වූ දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇත්තා වූ ශ්‍ර‍මණ වේශධාරීහු ඇති වන්නාහ. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහු ය. ආනන්දය! එකල්හි ද මම සංඝගත දක්ෂිණාවේ ආනිසංස අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය වන බව පවසමි. ආනන්දය! කිසි ම ආකාරයකින් සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය මහත්ඵලතරය යි මම නො පවසමි යි තථාගතයන් වහන්සේ සාංඝික දානයේ ආනිසංසය වදාළ සේක.

සම්බුද්ධයන් වහන්සේ ජීවමාන කාලයේ පටන් ශාසනාන්තයෙහි ඇති වන කාසාව කණ්ඨකයන්ගේ කාලය දක්වා බුදුසස්නෙහි පැවිදි වන සියල්ලෝ ම සංඝරත්නයට අයත් වන්නාහ. එබැවින් සංඝරත්නයට අයත් පුද්ගල සමූහයා ඉතා බොහෝ වෙති. මෙපමණ ලක්ෂ ගණනෙක කෝටි ගණනෙකැයි ප්‍ර‍මාණ නො කළ හැකිය. යටත් පිරිසෙයින් බත් සැන්දක් මුත් සංඝ රත්නයට දෙමිය කියා දුනහොත් ඒ දාන වස්තුව සම්පූර්ණ සංඝ රත්නයට ම හිමි වන බැවින් සංඝයාට දෙන තැනැතතේ ඉතා සුළු දෙයක් දුන්නේ වී නමුත් මහත් වූ පුද්ගල සමූහයකට දුන්නේ වේ. අන් අයුරකින් එපමණ මහත් පුද්ගල සමූහයකට පැමිණෙන ලෙස දීමක් නො කළ හැකි ය. පුද්ගලයන් බොහෝ දෙනකුන්ට දීමක් වන බැවින් සාංඝික දානය මහානිසංස වේ. දානය මහත් ඵල වීමට ප්‍ර‍තිග්‍රාහකයන්ගේ ගුණ සම්පත්තිය ද කරුණක් වේ. සංඝ රත්නයට අයත් පුද්ගලයන් අතුරෙන් සාරිපුත්‍රාදි එක් රහතන් වහන්සේ කෙනකුගේ ගුණය ද ප්‍ර‍මාණ කළ නොහෙන පමණට මහත් ය. එ බඳු ගුණවත් පුද්ගලයන් මහත් සංඛ්‍යාවක් ඇතුළත් වන්නා වූ සංඝ රත්නයේ ගුණස්කන්ධය ප්‍ර‍මාණ කළ නොහේ. සංඝරත්නයේ ගුණ මහන්තත්වය නිසා ද සාංඝිකදානය බොහෝ අනුසස් ඇතියක් වන්නේ ය.

පොහොසතුන්ගේ හා දුප්පතුන්ගේ දාන

“අප්පස්මෙකෙ පවෙච්ඡන්ති - බහුනෙකෙ න දිච්ඡරෙ

අප්පස්මා දක්ඛිණා දින්නා - සහස්සෙන සමං මිතා”

ඇතැමෙක් තමාට ස්වල්ප දෙයක් ඇතුව සිට එයින් දන් දෙති. ඇතමෙක් බොහෝ වස්තුව ඇතුව ද එයින් දන් නො දෙති. යමෙක් තමාට ඇත්තා වූ ස්වල්ප වස්තුවෙන් දන් දේ නම් දුප්පතාගේ ඒ මඳ දීමනාව පොහොසතකුගේ දහසක් දීම හා සමය යනු මෙහි අදහසයි. මෙයින් දුප්පතකු විසින් දෙන රුපියලක් වටිනා දානය පොහොසතකුගේ දහසක් වටිනා දානයට සමවන බවත්, දුප්පතා එක් භික්ෂුවකට දෙන දානය පොහොසතකු විසින් භික්ෂූන් දහසකට දෙන දානය හා සමාන බව ද ප්‍ර‍කාශිත ය. ඇතැම්හු දුප්පත් නිසා අපට නො දිය හැකි යයි දීමට පසුබට වෙති. එය අනුවණ කමකි. තමාට ඇති සැටියට බත් සැන්දක් වුවත් දිය යුතු ය. දුප්පතාට එය මහා දානයෙකි. “අසය්හ” සිටාණන් දන් දෙන තැනට යන දුගී මගී යාචකාදීන්ට දකුණු අත දිගු කොට මඟ පෙන්වූ දුප්පත් මිනිසෙක් ඒ පිනෙන දකුණතින් සියල්ල වෑස්සෙන ආනුභාවයක් ඇති දෙවියෙක් විය. මඟ පෙන්වූ පිනෙන් ම එපමණ ඵලයක් වූ කල්හි ස්වල්පයක් මුත් දෙන තැනැත්තකුට කොපමණ මහත් ඵලයක් ලැබිය යුතු ද? දුප්පත් යයි සිතා පසුබට නොවී ස්වල්පයක් වුවත් දීමට පින් කැමතියන් පුරුදු කර ගත යුතුය.

කාල දානයෝ

“පඤ්චිමානි භික්ඛවෙ, කාල දානානි. කතමානි පඤ්ච? ආගන්තුකස්ස දානං දෙති, ගමිකස්ස දානං දෙති. ගිලානස්ස දානං දෙති. දුබ්භික්ඛෙ දානං දෙති. යානි තානි නව සස්සානි නව ඵලානි පඨමං සීලවන්තේසු පතිට්ඨාපෙති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච කාල දානානි.”

යනුවෙන් කාල දාන පසක් වදාරා තිබේ. ඔවුහු නම් ආගන්තුකයන්ට දන් දීමය, ගමිකයන්ට දන් දීමය, රෝගීන්ට දන් දීමය, දුර්භික්ෂයෙහි දන් දීමය, ගොවිකම් කොට පළමු ලැබූ දෙය දන් දීමය යන මොහුය. ආගන්තුකයෝ නම් යම්කිසි තැනකට අලුත පැමිණ සිටින්නෝ ය. ගමිකයෝ නම් යම්කිසි තැනකට යෙමින් සිටින්නෝ ය. ආගන්තුක වූ ද ගමික වූ ද ගිලන් වූ ද ගිහි පැවිදි කවුරුත් ආහාර පාන සපයා ගැනීමට අපහසු අවස්ථාවකට එළඹ සිටින්නෝ ය. එය ඔවුනට අනුන්ගේ උපකාර විශේෂයෙන් ම වුවමනා අවස්ථාවෙකි. එබැවින් ඔවුනට දීම කාල දානයකි. නොහොත් සුදුසු අවස්ථාවන්ට දෙන දානයකැයි තථාගතයන් වහන්සේ වදාළ සේක. දුර්භික්ෂය සැමට ම ආහාර පාන දුර්ලභ අවස්ථාවෙකි. එ බැවින් ඒ අවස්ථාවේ දීම ද කාල දානයෙකි. ගොවිකමකින් පළමු ලැබුණ දෙය උතුම් වස්තුවකි. එය උත්තමයනට දීම ද කාල දානයෙකි.

“කාලෙ දදන්ති සප්පඤ්ඤා - වදඤ්ඤූ වීතමච්ඡරා

කාලෙන දින්නං අරියෙසු - උජුභූතෙසු තාදිසු

විප්පසන්නමනා තස්ස - විපුලා හොති දක්ඛිණා”

මසුරු මල දුරු කළා වූ දෙන ස්වභාවය ඇත්තා වූ නුවණැත්තේ දීමට සුදුසු කල්හි දන් දෙති. කාය වාචා චිත්ත වංකයන් ප්‍ර‍හීණ බැවින් අවංක වූ ඉෂ්ටානිෂ්ටයන්හි ඇල්ම හා කෝපය නැත්තා වූ ආර්‍ය්‍යයන් කෙරෙහි ප්‍ර‍සන්න සිත් ඇත්තා වූ යමෙක් දන් දේ ද, ඔහුගේ දානය මහත් ඵල වන්නේ ය යනු ගාථාවෙහි අදහසයි.

අසත්පුරුෂ දාන පස

“පඤ්චිමානි භික්ඛවෙ, අසප්පුරිස දානානි, කතමානි පඤ්ච? අසක්කච්චං දානං දෙති, අචීත්ති කත්වා දානං දෙති, අසහත්ථා දානං දෙති. අපවිද්ධං දානං දෙති. අනාගමන දිට්ඨිකෝ දානං දෙති. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච අසප්පුරිස දනානි.”

යනුවෙන් “අංගුත්තර නිකාය” පඤ්චක නිපාතයෙහි අසත්පුරුෂ දාන පසක් දක්වා තිබේ. ඒ මෙසේ ය:

  1. ප්‍ර‍තිග්‍රාහකයන්ට සුවසේ වැළඳිය හැකි වන පරිද්දෙන් සකස් නො කොට නො මනා කොට දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
  2. දාන වස්තුව කෙරෙහි හා ප්‍ර‍තිග්‍රාහකයන් කෙරෙහි ආදර ගෞරවයක් නැතිව දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
  3. සියතින් නොදී වැඩකාරාදි අනුන් ලවා දෙවන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
  4. නිතර නොදී නරක් වූ දෙයක් අහක දමන්නාක් මෙන් කලාතුරකින් දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
  5. මතු පුණ්‍ය ඵලය ලැබීමේ බලාපොරොත්තුව නැතිව දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.

දීමට පිළියෙළ කරන ආහාරය මනා වර්ණයෙන් හා ගන්ධයෙන් ද රසයෙන් හා ඕජාවෙන් ද යුක්ත කොට පිළියෙළ කිරීම දාන වස්තුවට ගෞරවාදර කිරීම ය. එසේ නොකොට වැලිකැට ගල්කැට සහිත ව ලුණු ඇඹුල් නැතිව දානය පිළියෙළ කිරීම දාන වස්තුවට අනාදර අගෞරව කිරීම ය. දෙන කල්හි දීමට සුදුසු උත්තම ප්‍ර‍තිග්‍රාහකයන් සොයා ඔවුනට දීම, ප්‍ර‍තිග්‍රාහකයන්ට ගෞරවාදර කිරීම ය. දෙන දෙය කාහට ගියත් කම් නැතැයි ප්‍ර‍තිග්‍රාහකයන් නො සොයා දුටු කෙනකුට දීම, ප්‍ර‍තිග්‍රාහකයන්ට අනාදර අගෞරව කිරීම ය. ප්‍ර‍තිග්‍රාහකයන්ගේ වැඩ පාළු වන සැටියට බොහෝ දුර සිට ගෙන්වා දෙන දාන ද ප්‍ර‍තිග්‍රාහකයන් බොහෝ ගණනක් ගෙන්වා සුළු දෙයක් දීම ද තම තමන්ගේ තැන්වල සිසිල් සෙවනේ කරදරයක් නැති ව ආහාරයක් ගන්නා වූ භික්ෂූන්ට එයට ඉඩ නොදී බොහෝ දුර තද අව්වේ ගෙන්වා වෙහෙසවා දෙන දාන ද අසත්පුරුෂ දාන සංඛ්‍යාවට ඇතුළත් වන ව කිය යුතු ය.

දන්දෙන කල්හි ඒ දෙන දානය අසත්පරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන සැටියට ම දන් දීම කළ යුතු ය. දානය යහපත් වනුයේ ප්‍ර‍තිග්‍රාහකයන්ට එයින් යහපතක් වන සැටියට දුනහොත් ය. ප්‍ර‍තිග්‍රාහකයන්ට අලාභ හානි කරදර වන සැටියට දෙන දානයක් නො දීම ද යහපතකි. භික්ෂූන්ට දන් දෙන ඇතැම්හු තමන්ගේ දානය භික්ෂූන් බොහෝ ගණනක් ගෙන්වා ගෙන දෙන්නට කල්පනා කරනවා මිස, ඒවා පිළිගන්නට වඩින භික්ෂූන්ට වන කරදර අලාභ හානි ගැන කල්පනා නො කරති. දෙන දානයෙන් ප්‍ර‍තිග්‍රාහකයාට ලැබෙන ලාභයට වඩා මහත් කරදරයක් අලාභයක් වේ නම්, ඒ දීමෙහි කිසි තේරුමක් නැත. දෙන අය විසින් බැලිය යුත්තේ බොහෝ දෙනකුට දීම ගැන නොව ප්‍ර‍තිග්‍රාහකයන්ට පහසුවක් ලාභයක් සුවයක් වන සැටියට ටික දෙනකුට වුවත් දීම ගැන ය. දන් දීමේ පරමාර්ථය අනුන්ට පහසුවක් ඇති කිරීම ය.

අසත්පුරුෂ දානයේ විපාක

අසත්පුරුෂ දානය දුන්නවුන්ට එහි විපාක වශයෙන් ඔවුන්ගේ දානය සේ ම අයහපත් වූ භව භෝග සම්පත් ලැබෙන්නේ ය. ඔවුනට සංසාරයේ දී ලැබෙන්නේ මීයන්ගෙන් වේයන්ගෙන් මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් මකුණන්ගෙන් හා තවත් නොයෙක් සතුන්ගෙන් කරදර ඇත්තා වූ හෝ සතුරන්ගෙන් නිතර කරදර ඇත්තා වූ හෝ තැනක් සංස්කරණය කරන කල්හි තැනක් කැඩෙන්නා වූ හෝ තැනක් සෙවෙනි කරන කල්හි තැනකින් තෙමෙන්නා වූ හෝ ගෙවල් ය. ගවාදි සතුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ ජලය අඩු වැඩි කමින් හෝ කරදර බහුල වූ වතු කුඹුරු ය. අකීකරු වූ අඹුදරුවෝ ය. කරදරයක් නැති සැටියට වස්තුව ලද හොත් ඒවා බුක්ති විඳීමට ඔවුන්ගේ සිත් නො නැමේ. ඔවුහු මටසිලුටු සියුම් වස්ත්‍ර‍ ලදත් ඒවා නො හැඳ දළ රෙදි හඳිති. හොඳ ආහාර ඇතත් ඒවා අගුණ වෙති යයි සිතා නීරස නො මනා ආහාර අනුභව කරති. හොඳ යාන වාහන ඇතත් ඒවායින් යෑම අන්තරාය සහිතය යි සිතා කබල් රියවලින් යෙති. මේ අසත්පුරුෂ දානයෙන් විපාක ලැබෙන සැටි ය.

වෘත්ත නිඃශ්‍රිතාදි දානත්‍ර‍ය

දානය වෘත්තනිඃශ්‍රිත දානය ය, විවෘත්ත නිඃශ්‍රිත දානය ය, උභය නිඃශ්‍රිත දානය ය යි, තුන් ආකාර වේ. මනුෂ්‍ය දිව්‍ය සම්පත් ලබනු සඳහා දෙන දානය වෘත්ත නිඃශ්‍රිත දානය ය. සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත් ලබනු පිණිස දෙන දානය විවෘත්ත නිඃශ්‍රිත දානය ය. ලෞකික ලෝකෝත්තර සම්පත් ලබනු පිණිස දෙන දානය විවෘත්ත නිඃශ්‍රිත දානය ය. ලෞකික ලෝකෝත්තර සම්පත් දෙවර්ගය ම පතා දෙන දානය උභය නිඃශ්‍රිත දානය ය. කොපමණ මහත් දානයක් වුව ද ලෞකික සම්පත් පතා දුන හොත් ඒ හේතුවෙන් ලෞකික සම්පත් ම මිස ලෝකෝත්තර සම්පත් නො ලැබෙන්නේ ය. “සචෙ වට්ට සම්පත්තිං පත්ථෙත්වා වට්ට නිස්සිත වසෙන මිච්ඡා ඨපිතං හොති, වට්ට මෙව ආහරිතුං සක්කොති, නො විවට්ටං” යන අටුවා පාඨයෙන් ඒ බව දැක්විණ. “ඉදං මේ දානං ආසවක්ඛ්‍යාවහං හොතුති එවං විවට්ටං පත්ථෙන්තෙන විවට්ට වසෙන සම්මා ඨපිතං අරහත්තම්පි පච්චෙකබොධි ඤාණම්පි සබ්බඤ්ඤුත ඤාණම්පි දාතුං සක්කොති එව” යන අටුවා පාඨයෙන් දැක්වෙන පරිදි, මාගේ මේ දානය ආශ්‍ර‍වක්ෂය සංඛ්‍යාත අර්හත්වය ගෙන දෙන්නෙක් වේ වා” යි විවෘත්තය පතන්නහු විසින් විවෘත්ත නිඃශ්‍රිත කොට මනා කොට තබන ලද්දේ එයින් අර්හත්වය ද ප්‍රත්‍යෙක බෝධිඥානය ද සර්වතාඥානය ද යන සියල්ල ම ලබා දෙන බව දත යුතුය. අර්හත්වය හෝ නිවන පතා දෙන්නවුන්ට නො පැතුයේ ද, ඒ කුශලයෙන් නිවනට පැමිණෙන තුරු දිව්‍ය මනුෂ්‍ය සම්පත් ද ලබා දෙන්නේ ය. දාන පාරමිතාව වනුයේ ද විවෘත්ත නිඃශ්‍රිත දානය ය. වෘත්ත නිඃශ්‍රිත දානය දාන පාරමිතාවට ඇතුළත් නොවේ. මෙකල දන් දෙන බොහෝ දෙනා දන් දී දිව්‍යමනුෂ්‍ය සම්පත් ලබා අන්තිමේ දී නිර්වාණ සම්පත්තිය ලැබේවා යි පතති. එසේ පතන්නවුනට නිවන් ලැබීමට බොහෝ කල් ගත වේ. එබැවින් දන් දී අනෙකක් නො පතා අර්හත්වය හෝ නිවන ලැබේවා යි පැතීම ම යහපති. පෙර පසේ බුදුවරයකුට එක දා උක් පැණි දන් දුන් සහෝදරයන් දෙදෙනාගෙන් නිවන් පමණක් පැතූ තැනැත්තා විපස්සී බුදුන් වහන්සේ ගේ සස්නෙහි දී නිවනට පැමිණියේ ය. භවභෝග සම්පත් ද සමඟ නිවන් සම්පත් පැතූ සහෝදරයාට නිවනට පැමිණිය හැකි වූයේ ඊට කල්ප අනූ එකකට පසු අප බුදුන්ගේ සස්නෙහිදී ය. විස්තර දම්පියාටුවාවේ ජෝතිය සිටාණන්ගේ කථාව බලා දත යුතුය.

කඨින චීවර දානය

කඨින චීවර දානය යනු විශේෂ චීවර දානයෙකි. එය පෙර වස් වසා පවාරණය කළ භික්ෂූන්ට වර්ෂයකට එක් වරක් පමණක් දිය හැකි දානයෙකි. වප් මස අව පෑළවිය දිනයේ පටන් ඉල් මස පුර පසළොස්වක දිනය දක්වා ඇති මසක් වූ කාලය කඨිනය දිය හැකි කාලය ය. ඒ කාලයට චීවර මාසය යි ද කියනු ලැබේ. කඨින චීවරය ලැබීම නිසා පස් මගක් ගත වන තුරු භික්ෂූන් වහන්සේලාට විනය ප්‍ර‍තිපත්ති පසක් පිළිබඳව විශේෂ පහසුකම් ඇතිවන බැවින් ඒ චීවරය භික්ෂූන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් චීවරයකි. අන් සිවුරු දහසක් ලැබීමෙනුදු භික්ෂූන් වහන්සේට ඒ පහසුකම් වලින් එකකුදු නො ලැබේ. එබැවින් කඨිනය දෙන දායකයන්ට ද අන් සිවුරු පිදීමෙන් ලැබෙන කුශලයට වඩා අනුසස් ඇති කුශලයක් ලැබේ. එය එක්තරා ගරු පුණ්‍යකර්මයකි.

කඨින දිය යුත්තේ මෙසේ ය: ඇසළ මස අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹ වප් මස පුර පසළොස්වක පොහෝ දිනයෙහි පවාරණය කළා වූ භික්ෂූන් වහන්සේලා ඇති ස්ථානයකට චීවර මාසය තුළ දී තුන් සිවුරෙන් එක් සිවුරකට ප්‍ර‍මාණය වන අලුත් වස්ත්‍ර‍යක් සිවුරු කිරීමට වුවමනා ඉදිකටු නූල් පඬු ආදි උපකරණත් සමග සිවුරු කරන භික්ෂූන්ට ආහාර පානාදියත් ගෙන ගොස් ඉතා උදෑසන එය සංඝයාට පූජා කළ යුතු ය. උදෑසන ම පූජා කළ යුත්තේ ඒ වස්ත්‍රයෙන් එදින ම සිවුරක් කර ගත යුතු බැවිනි. කපා මසා පඬු පොවා අවසන් කළ සිවුරක් ද කඨින චීවරය වශයෙන් පිදිය හැකිය. වැඩ නිම වූ සිවුරකින් කඨිනය පුද කරත හොත් කවර වේලාවක වුව ද පූජා කළාට වරදක් නැත.

පරිවාර පරිෂ්කාරයන්ගෙන් යුක්ත කිරීමෙන් කඨින දානය කැමති පමණට මහා දානයක් කර ගත හැකි ය. කලාතුරකින් කරන්නට ලැබෙන මේ පින්කම හැකි තාක් මහත් කොට කිරීම බෞද්ධයන්ගේ සිරිතය. කඨින චීවරයට පරිවාර පරිෂ්කාර වශයෙන් තවත් සිවුරු ද, ආහාර පාන හා බෙහෙත් වර්ග ද, ඇඳ පුටු මේස ආදි දැව භාණ්ඩ ද, ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ද, පිඟන් කෝප්ප සැලි ආදි මැටි බඳුන් ද, කුඩා සැළි, කළ, කල්දේරම් ආදි තඹ පිත්තල බඩු ද, කැති පොරෝ මන්නා පිහියා උදලු ආදි යකඩ බඩු ද, ඉදල් මුසුන් වට්ටි පෙට්ටි පෙරහන්කඩ ආදිය ද විහාරස්ථානවලට හා භික්ෂූන් වහන්සේලාට ප්‍රයෝජනවත් තවත් නොයෙක් දේ ද එක්කොට පිදිය හැකිය.

එක් අයෙකු පිදූ කඨින වස්ත්‍ර‍ය කපා මසා පඬු පොවා කඨිනස්ථාර විනය කර්මය කරන්නට මත්තෙන් අනෙකෙක් තවත් බොහෝ පරිවාර වස්ත්‍රාදිය සමග කඨින වස්ත්‍ර‍යක් ගෙන ආවහොත් සංඝයා විසින් එය ද පිළිගත යුතු බව -

“සචේ තස්මිං අනත්ථතෙ එව අඤ්ඤො කඨින සාටකං ආහරති. අඤ්ඤානි ච බහූනි කඨිනානිසංස වත්ථානි දෙති. යො ආනිසංසං බහුං දෙති. තස්ස සන්තකෙන අත්ථරිතබ්බං ඉතරො තථා තථා ඔවදිත්වා සඤ්ඤාපෙතබ්බො” යනුවෙන් විනයෙහි දක්වා තිබේ.

පින් නො වන පව් සිදු වන දාන

“පඤ්ච දානානි අපුඤ්ඤානි පුඤ්ඤ සම්මතානි ලොකස්මිං කතමානි පඤ්ච? මජ්ජ දානං, සමජ්ජ දානං, ඉත්ථි දානං, උසභ දානං, චිත්ත කම්ම දානංති.”

යනුවෙන් විනය පරිවාර පාළියෙහි අපුණ්‍ය දාන පසක් ඇති බව දක්වා තිබේ. මත් පැන් දීම ය, අනුන්ට බැලීමට නැටුම් පැවැත්වීම ය, පුරුෂයනට නො මනා ක්‍රියාවලට ස්ත්‍රීන් දීම ය, දෙනුනට ගැබ් ගැන්වීමට ගොනුන් දීම ය, රාග නිඃශ්‍රිත චිත්‍ර‍රූප දීම ය යන මේ පස අපුණ්‍ය දානයෝ ය.

දුන් අත්බැව්හි ම විපාක ලැබෙන දානය

වස්තු සම්පත්තිය ය, ප්‍ර‍ත්‍යය සම්පත්තිය ය, චේතනා සම්පත්තිය ය, ගුණාතිරේක සම්පත්තිය ය යන චතුස් සම්පත්තියෙන් යුක්ත දානය, දුන් අත් බැව්හි ම විපාක දෙන්නේ ය. වස්තු සම්පත්තිය යනු ප්‍ර‍තිග්‍රාහකයා අනාගාමි වූ හෝ රහත් වූ හෝ කෙනකු වීම ය. ප්‍ර‍ත්‍යය සම්පත්තිය යනු දාන වස්තුව ධර්මයෙන් ලද දෙයක් වීම ය. චේතනා සම්පත්තිය යනු දීමට පූර්වයෙහි හා දෙන කල්හි ද ඉන් පසුව ද සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත කුශල චේතනා ඇති බව ය. ගුණාතිරේක සම්පත්තිය යනු ප්‍ර‍තිග්‍රාහකයා එදින නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියෙක් වීම ය. මේ චතුස් සම්පත්තිය ලැබිය හැක්කේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා හා ධ්‍යාන ලාභී අනාගාමීන් ඇති කාලවල දී ය. චතුස් සම්පත්තියෙන් යුක්ත කොට දන් දුන් කල්හි ඇතමකුට එදින ම විපාක ලැබේ. ඇතමකුට සත් දිනක් ඇතුළත ලැබේ. ඇතමකුට ඒ ජාතියේදී යම් කිසි අවස්ථාවක ලැබේ.

චතුස්සම්පත්තියෙන් යුක්ත කොට මෙලොව ම විපාක ලැබෙන සැටියට දන් දීම පහසු කාර්‍ය්‍යයක් නොවේ. අනාගාමීන් හා රහතුන් නො ලැබිය හැකි බැවින් මෙ කල එය නො කළ හැකි ය. දහස් ගණන් රහතන් වහන්සේ වැඩ විසූ අතීතයේ ද මෙලොව විපාක ලැබෙන සේ දන් දිය හැකි වූයේ ඉතා ම ටික දෙනකුට පමණකි. මෙකල දන් දෙන්නවුන්ට ද ඉහතාත්ම භාවයේ ලැබෙන ආනිසංස සර්වාකාරයෙන් නැත්තේ ම නො වේ. දන් දීමෙන් මෙලොව දී ලැබෙන අනුසස් විචාළා වූ “සීහ සේනාපතියාට” බොහෝ දෙනාට ප්‍රිය වීමය, සත්පුරුෂයන් විසින් භජනය කරනු ලැබීම ය, කීර්තිය පැතිර යෑම ය, නිර්භීත ව පිරිස් මැදට යා හැකි බව ය යන ආනිසංස සතරක් මෙලොව ලැබෙන බව බුදුන් වහන්සේ වදාල සේක. නිතර සැදැහැයෙන් දන් දෙන පින්වතුන්ට නිරෝගී බව, දීර්ඝායුෂ්ක බව, හදිස්සියෙන් ධනයෙන් නො පිරිහෙන බව, සතුරු උවදුරු මඳ බව යනාදි තවත් අනුසස් ලැබෙන්නේ ය. එය ග්‍ර‍හයන් ගෙන් වන ඵලාපලයන් සේ අප්‍ර‍කට ය.

දායකයෝ

දානදාස ය, දානසහාය ය, දානපතිය යි දායකයෝ තිදෙනෙක් වෙති. තමා රසවත් ඕජාවත් ආහාරයන් වළඳමින් දන් දෙන කල්හි නො මනා නො වටනා ආහාරයන් දෙන්නේ දානදාස නමි. තමා වළඳන සැටියට දන් දෙන්නේ දානසහාය නමි. තමා වළඳන ආහාරයට වඩා යහපත් ආහාර දන් දෙන්නේ දානපති නමි.

තමා වටනා වස්ත්‍ර‍ හඳිමින් නො මනා නො වටනා වස්ත්‍ර‍ දෙන්නේ දානදාස ය. තමා හඳන වස්ත්‍ර‍ වැනි ඒවා දෙන්නේ දාන සහාය ය. තමා හඳින වස්ත්‍ර‍යන්ට වඩා සුන්දර වස්ත්‍ර‍ දෙන්නේ දානපති ය. මේ නියායෙන් අන්‍ය දාන වස්තු සම්බන්ධයෙන් ද දායක භේදය කිය යුතුය. විපාක ලැබෙන කල්හි දාන දාසයාට හීන විපාක ද දාන සහායයාට මධ්‍යම විපාක ද දානපතිට ශ්‍රේෂ්ඨ විපාක ද ලැබෙන්නේ ය.

තව ද අවර්ෂී ය, ප්‍රදේශ වර්ෂී ය, සර්වත්‍ර‍ වර්ෂීය යි දායකයෝ තිදෙනෙකි. වස්නට මෙන් ගර්ජනා කර නො වස්නා වලාවක් සේ දෙන්නට කථා කිරීමෙන් ම නවත්නා තැනැත්තේ අවර්ෂි නමි. සමහර තැනකට පමණක් වස්නා වළාවක් මෙන් එක් තැනකට දෙතැනකට පමණක් දෙන තැනැත්තේ ප්‍රදේශ වර්ෂි නමි. මුළු රටට ම වස්නා මහ වලාවක් මෙන් නිකාය භේද කුල භේද රට භේද නෑ කම් මිතුරුකම් නො සලකා සැමට ම දෙන තැනැත්තේ සර්වත්‍ර‍ වර්ෂි නමි.

නො දීමේ වරද හා දීමේ අනුසස්

“යස්සෙව භීතො න දදාති මච්ඡරි

තදේව දදතො භයං

ජිගච්ඡා ච පිපාසා ච යස්ස භායති මච්ජරි

තමෙව බාලං ඵුසති අස්මිං ලොකෙ පරම්හි ච”

තේරුම -

මසුරා යමකට බියෙන් නො දේ ද, නො දීමෙන් ඔහුට වන බිය ද එය ම ය. සා ගින්නය පිපාසාවය යන යමකට මසුරා බිය වේ ද, එය ම ඒ බාලයාට මෙලොව දී ද පරලොව දී ද (දන් නොදීම නිසා) පැමිණේ.

  1. “ආදිත්තස්මිං අගාරස්මිං - යං නීහරති භාජනං
    තං තස්ස හොති අත්ථාය - නො ච යං තත්ථ ඩය්හති
  2. එවමාදිපිතො ලොකො - ජරාය මරණෙන ච
    නීහරෙථෙව දානෙන - දින්නං හොති සුනීහතං
  3. දින්නං සුඛ ඵලං හොති - නාදින්නං හොති තං තථා
    චොරා හරන්ති රාජානො - අග්ගි ඩහති නස්සති
  4. අථ අන්තෙන ජහති - සරීරං සපරිග්ගහං
    එතදඤ්ඤාය මෙධාවි - භුඤ්ජෙථ ච දදෙථ ච”

තේරුම

  1. ගෙයක් ගිනි ගත් කල්හි යම් භාජනාදියක් ඉන් බැහැර කෙළේ නම් එය ඔහුගේ ප්‍රයෝජනය පිණිස වේ. යමක් බැහැර නො කරන ලද ද එය එහි දැවෙන්නේ ය.
  2. එ මෙන් ලෝකය ජරාවෙන් හා මරණයෙන් ඇවිල ගත්තේ වේ. එ බැවින් දන්දීම් වශයෙන් තමන් සතු වස්තුව දැවෙන ලෝකයෙන් බැහැර කර ගනිව්. දෙන ලද දෙය බැහැර කර ගන්නා ලද්ද වන්නේ ය.
  3. දුන් දෙය සැප විපාක ඇති කරන්නේ වේ. නො දෙන ලද්ද වැඩීමක් නො වී එහි ම නැසෙන්නේ ය. එය සොරු ද ගනිති. රජහු ද ගනිති. ගින්න ද දවයි. විනාශ ද වෙයි.
  4. ඉක්බිති ඉතිරි වස්තුව සහිත වූ ශරීරය ද මරණයෙන් හැර දමන්නට සිදු වන්නේ ය. එය දැන නුවණැත්තේ වස්තුව අනුභව ද කරන්නේ ය. දීම ද කරන්නේ ය.

-

  1. “දදං පියෝ හෝති භජන්ති නං බහුං
    කිත්තිං ච පප්පොති යසොභි වඩ්ඪති
    අමඞ්කුභුතො පරිසං විගාහති
    විසාරදො හොති නරො අමච්ඡරි
  2. තස්මා හි දානානි දදන්ති පණ්ඩිතා
    විනෙය්‍ය මච්ඡෙර මං සුඛෙසනො
    තේ දීඝරත්තං තිදිවෙ පතිට්ඨිතා
    තිදිවානං සහව්‍යතං ගතා රමන්ති.”

තේරුම

  1. දෙන තැනැත්තේ ලෝකයාට ප්‍රිය වේ. බොහෝ දෙනා ඔහු භජනය කරති. හේ කීර්තියට පැමිණේ. ඔහුට පිරිවර වැඩේ. හේ නිර්භීත වූයේ පිරිස් මැදට යේ. නො මසුරු මිනිස් තෙමේ සතුටින් වෙසේ.
  2. එ බැවින් සැප සොයන්නා වූ නුවණැත්තෝ මසුරු මලය දුරු කොට දන් දෙති. ඔවුහු බොහෝ කල් දෙව් ලොව සිටියාහු දෙවියන් හා එක්වීමට ගියාහු සතුටු වෙති.

“එවං චෙ භික්ඛවෙ, සත්තා ජානෙය්‍යුං දාන සංවිභාගස්ස විපාකං යථා අහං ජානාමි න අදත්වා භුඤ්ජෙය්‍යුං, න ච නෙසං මච්ඡෙර මලං චිත්තං පරියාදාය තිට්ඨෙය්‍ය යො පි නෙසං අස්ස චරිමෝ ආලොපො චරිමං කබලං තතො පි න අසංවිභජිත්වා භුඤ්ජෙය්‍යුං.

තේරුම

මහණෙනි, මම යම් සේ දානයාගේ විපාක දනිම් ද මේ සත්ත්වයෝ එසේ දනිත් නම් දන් නොදී තුමූ නො වළඳන්නාහ. මසුරු මලය ඔවුන්ගේ සිත, යට කරගෙන නො සිටින්නේ ය. ඔවුන්ට යම් අන්තිම බත් පිඩක් වේ නම් එයින් ද දන් දී වළඳන්නාහු ය.

මෙතෙකින් දාන කථාව නිමියේය.

2. ශීලය

ප්‍රාණඝාතාදි පාප ක්‍රියාවලින් වැළකීම හා තථාගතයන් වහන්සේ විසින් පැන වූ සික පද රැකීම ද වත් පිළිවෙත් කිරීම ද ශීලය ය. තවත් ක්‍ර‍මයකින් කියතහොත් යම් ප්‍ර‍තිපත්තියකින් කාය වාග් ද්වාර දෙක හා ආජීවය ශුද්ධ වේ නම් ඒ ප්‍ර‍තිපත්තිය ශීලය ය.

ඒ ශීය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බාල මහලු සෑම දෙනාට ම සුදුසු ඇඳුමෙකි. උඩු සුළඟෙහි ද යන්නා වූ ස්වර්ගය තෙක් පැතිරෙන්නා වූ සුවඳෙකි. කෙලෙස් රෝගයට දිව්‍යෞෂධයකි. කෙලෙස් නමැති විෂයට දිව්‍ය මන්ත්‍රයෙකි. පව් නමැති කිලුටු සෝදා හරින්නා වූ දුක් ගිනි නිවන්නා වූ ජලයෙකි. කෙලෙස් සතුරනට ඇතුළු විය නො හෙන බලකොටුවෙකි. සියලු සැපයට හේතුවෙකි. උතුම් ධනයෙකි. මහා බලයෙකි. මහා පිහිටෙකි. දෙව්ලොවට හිණෙකි. සියලු බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාගේ තීර්ථයෙකි. නිවනට පිවිසෙන දොරටුවෙකි.

ශීල පදාර්ථය අති විශාලය. එයට අයත් කරුණු බොහෝ ය. ඒ සියල්ල සැමට ම රැකිය නොහෙන බැවින් ගිහිගෙයි වසනුවන්ට රැකිය හැකි වනු පිණිස ශීලාංග පස බැවින් ගෙන පඤ්ච ශීලය හා බ්‍ර‍හ්මචරිය පඤ්ච ශීලය නිර්මිත ය. ශීලාංග අට බැවින් ගෙන අෂ්ඨාංග ශීලය නිර්මිතය. ශීලාංග නවයකින් නවාංග ශීලය ද, ශීලාංග දශයකින් දශ ශීලය ද නිර්මිත ය.

සිල් සමාදන් වීම

සිල් සමාදන් වීමය යන්නෙහි තේරුම ආරක්ෂා කරනු සඳහා ශීලය පිළිගැනීම ය. එය සමාදන් වන කල්හි භික්ෂූන් වහන්සේ කෙනකු ලවා සික පද කියවා ගෙන සමාදන් විය යුතුය. සිල් සමාදන් වෙමියි කියා භික්ෂූන් වහන්සේ කියවන පරිදි සික පද කීයේ ද රක්ෂා කිරීමේ බලාපොරොත්තුව නැති ව කියන්නා ශීලයෙහි නො පිහිටන්නේ ය. ශීලය නො පිළිගත් බැවින්, සිල්සමාදන් වීමට භික්ෂුවක් නැති කල්හි සිල් සමාදන් කරවන්නට දත් අනෙකකුගෙන් ද සමාදන් විය හැකිය. තෙමේ ම සික පද කියා සමාදන් වූවාට වරදෙක් නැත. සික පද කියන්නට පාඩම් නැතිනම් මම බුදුන්වහන්සේ විසින් පනවන ලද මෙනම් ශීලය සමාදන් වෙමියි අධිෂ්ඨාන කර ගත යුතු ය. ඉන්පසු ඉටා ගත් කාලය මුළුල්ලෙහි ආරක්ෂා කළ යුතුය. යම්කිසි වරදක් සිදුවී ශීලය බිඳුන හොත් නැවත සමාදන් විය යුතුය. නො බිඳුන හොත් නැවත සමාදන් වීමට වුවමනා නැත. එහෙත් නැවත නැවත සමාදන් වීමෙන් පිනක් මිස වරදක් නොවේ.

සිල් ඉල්ලන වාක්‍යය

ඕකාස අහං භන්තෙ තිසරණෙන සද්ධිං ..... ධම්මං යාචාමි, අනුග්ගහං කත්වා සීලං දෙථ මේ භන්තෙ, අනුකම්පං උපාදාය. දුතියම්පි අහං භන්තෙ, තිසරණෙන සද්ධිං ..... ධම්මං යාචාමි, අනුග්ගහං කත්වා සීලං දෙථ මෙ භන්තෙ, අනුකම්පං උපාදාය, තතියම්පි අහං භන්තෙ තිසරණෙන සද්ධිං.... ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දෙථ මෙ භන්තෙ, අනුකම්පං උපාදාය.

මේ වාක්‍යය කියා සිල් ඉල්ලීම කළ යුතු ය. මෙහි ඉඩ තබා තිබෙන තැන්වලට පන්සිල් ඉල්ලීමෙහි දී “පංච සීලං” ඉතිරි සිල් ඉල්ලීමේ දී අට්ඨාංග උපොසථ සීලං, නවාංග උපොසථ සීලං, දස සීලං” යන වචන සුදුසු පරිදි යොදා වාක්‍යය කිය යුතුය.

පඤ්ච ශීලය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

  1. බුද්ධං සරණං ගච්ඡාමි
  2. ධම්මං සරණං ගච්ඡාමි
  3. සංඝං සරණං ගච්ඡාමි
  4. දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
  5. දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
  6. දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
  7. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
  8. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
  9. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

මේ තිසරණය සමාදන් වන ක්‍ර‍මය යි. සියලු සිල්ම සමාදන් වීමේදී පළමුකොට තිසරණය සමාදන් විය යුතු ය. එබැවින් මතු දැක්වෙන සියලු ශීලයන්ට ම මෙය යොදා ගත යුතු ය. මේ වාක්‍යවල තේරුම අංක පිළිවෙළින් දක්වනු ලැබේ.

  1. සකල ධර්ම සමූහය තත්ත්වාකාරයෙන් දැන වදාළා වූ බුදුන් වහන්සේ උතුම් පිහිටක් කොට සේවනය කරමි.
  2. පර්‍ය්‍යාප්ති ධර්මය සහිත වූ නව ලෝකෝත්තර ධර්මය උතුම් පිහිටක් කොට සේවනය කරමි.
  3. කල්‍යාණ පෘථග්ජනයා සහිත අෂ්ටාර්‍ය්‍ය පුද්ගල මහා සංඝරත්නය උතුම් පිහිටක් කොට සේවනය කරමි.

දුතියම්පි යන්නෙහි තේරුම දෙවනුව ද යනුයි. තතියම්පි යන්නෙහි තේරුම තුන් වනුව ද යනුයි.

සික පද පස

  1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  3. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

තේරුම :

  1. ප්‍රාණඝාතයෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
  2. අදත්තාදානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
  3. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
  4. බොරු කීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
  5. මදයට ප්‍ර‍මාදයට හේතු වන සුරාමේරය පානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.

මේවා ගැන දතයුතු සියල්ල අකුශල කර්මයන් දැක් වූ තැන විස්තර කර ඇත.

සිල් රැකිය යුතු ආකාරය

ශීලය සමාදන් වී නො රැකිය හොත් එහි ඇති වටිනාකමාක් නැත. සමාදන් වූ ශීලය එක් ඇසක් ඇති තැනැත්තා ඇස ආරක්ෂා කරන්නාක් මෙන් ද, එක් දරුවකු ඇති මව දරුවා රක්නාක් මෙන් ද ඉතා ආදරයෙන් රක්‍ෂා කළ යුතුය. ලාභයක් හෝ අලාභයක් නිසා හෝ කෙනකු සතුටු කිරීමට හෝ අඹු දරුවන් නිසා හෝ ශීලය නො බිඳිය යුතුය. නුවණැත්තෝ ජීවිතය නිසා ද සිල් නො බිඳිති.

පෙර මේ ලක්දිව උතුරු වඩුන්නාව නමැති ගම විසූ එක්තරා ගොවියෙක් අඹරැළි වෙහෙර වෙසෙන පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගෙන් පන්සිල් සමාදන් වී හැසිරෙනුයේ වනයෙහි දී පිඹුරකු විසින් වෙළා ගත් කල්හි වේදනා බලවත් වන විට පිඹුරා මරන්නට සිත් වන බැවින් එයින් වළකිනු සඳහා අත තුබූ කැත්ත දුරට වීසි කෙළේය. එකෙණෙහි පිඹුරා ද ඔහු හැර ගියේය.

පෙර මේ ලක්දිව විසූ ධම්මිකතිස්ස නොහොත් සද්ධාතිස්ස නම් වූ රජතුමා වටුමස් කෑමට ආශාව ඇති වී ඒ බව අනෙකකුට කිවහොත් තමා නිසා වටුවන් මරතියි යන බියෙන් තුන් අවුරුද්දක් ඉවසා සිටියේය.

ඒ රජතුමාගේ කාලයේ විසූ තිස්ස නම් අමාත්‍ය පුත්‍ර‍යා රාජාඥාවෙන් වධක ස්ථානයට ගෙන ගොස් දංගෙඩිය මත නිදි කරවා, මේ කුකුළා මරා පිසූ මසින් රජ්ජුරුවන්ට උපස්ථාන නො කරත හොත් තාගේ හිස සිඳිමි’යි කියා රාජ පුරුෂයන් විසින් කුකුළකු ඔහු අතට දුන් කල්හි ඒ කුකුළා අතට ගෙන ‘මාගේ දිවි තට පුදමි. තාගේ දිවි මම ගනිමි’ යි කියා කුකුළා මුදා හැර ප්‍රාණඝාතයෙන් වැළකී ඒ වෙනුවට මරණීයදණ්ඩනය ද පිළිගත්තේ ය. මෙ බඳු උතුමන්ගේ චරිත ආදර්ශයට ගෙන නොකඩ කොට සිල් රැකීමට උත්සාහ කරත්වා.

බ්‍ර‍හ්ම චරිය පඤ්ච ශීලය

අබ්‍ර‍හ්ම චර්‍ය්‍යාව ය යි කියනු ලබන කාමසුඛාස්වාදය වනාහි ඒ සුඛය පිළිබඳ වූ ලෝභය හා එහි ආදීනව පක්‍ෂය වසන්නා වූ මෝහයත් නිසා සත්ත්වයන් විසින් උතුම් කොට සලකන නමුත් තථාගතයන් වහන්සේගේ දර්ශනයේ සැටියට නම් එය නිස්සාර වූ බොහෝ දුක්වලට හේතු වන්නා වූ දෙයකි. ඒ කාම සුඛය ස්වප්නයක් බඳු බව ද, ණයට ගත් දෙයක් බඳු බව ද, මස් නැති ඇට කැබෙල්ලක් බඳු බව ද, සර්ප හිසක් බඳු බව ද, තණ සුලක් බඳු බව ද, මස් කපන කොටයක් බඳු බව ද, මස් කපන පිහියක් බඳු බව ද, බුදුන් වහන්සේ වදාළ සේක.

“අබ්‍ර‍හ්මචරියං පරිවජ්ජයෙය්‍ය

අංගාර කාසුං ජලිතංව විඤ්ඤූ”

යනුවෙන් දිලිසෙන ගිනි අඟුරු වළක් මෙන් නුවණැත්තේ අබ්‍ර‍හ්මචර්‍ය්‍යාව හරනේ ය යි වදාළ සේක.

අබ්‍ර‍හ්මචර්‍ය්‍යාවෙන් වැළකී සිටීමේ අනුසස් බොහෝ ය. අබ්‍ර‍හ්මචර්‍ය්‍යාව නිසා විඳින්නට වන දහස් ගණන් දුක් කරදරවලින් මිදෙන බව ද, නිරෝගී වන බව ද, වහා ජරාවට නො පැමිණෙන බව ද, දීර්ඝ කාලයක් ජීවත් විය හැකි බව ද, සිහි නුවණ වැඩීම ද, තේජස වැඩීම ද, ඉන්ද්‍රිය ශක්තිය හා කාය ශක්තිය ද, වර්ණය කල් පවත්නා බව ද, මරණින් මතු ස්වර්ගගාමී විය හැකි බව ද, බ්‍ර‍හ්මචර්‍ය්‍යාවේ ආනිසංසයෝ ය. මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් ගිහියන් විසින් ද රැකිය හැකි නම් බ්‍ර‍හ්මචර්‍ය්‍යාව රක්නට වටනේ ය. එය රැකිය හැකියවුන් විසින් නිත්‍යශීලය වශයෙන් බ්‍ර‍හ්මචර්‍ය්‍ය පඤ්චශීලය රක්ෂා කළ යුතු ය. බ්‍ර‍හ්මචර්‍ය්‍ය ශීලය සමාදන් වන්නහු විසින් සාමාන්‍ය පඤ්චශීලයේ තුන් වන සික පදය හැර එය වෙනුවට “අබ්‍ර‍හ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි” යන්න යොදා ගෙන සමාදන් විය යුතුය.

පෝය

පැරණියන් විසින් පින් කිරීමට වෙන් කරන ලද දිනයෝ පොහෝ දිනයෝ ය. කරන්නා වූ තැනැත්තාගේ ශ්‍ර‍ද්ධා ප්‍ර‍ඥාදියේ සැටියට මිස කරන දිනයේ සැටියට පින්වල අඩු වැඩි කමක් නැත. අවුරුද්දේ දවස් සියල්ල ම සිල් සමාදන් වීම් ආදි පින්කම්වලට සුදුසු ය. පෝය දවස් නියමකර ගෙන තිබෙන්නේ, මිනිසුනට නොයෙක් කටයුතු ඇති බැවින් සැමදා ම සිල් සමාදන් විය නොහෙන හෙයිනි. යමකුට ශීල සමාදානයට පෝය දිනයෙහි අනවකාශ වූ අන් දිනක අවකාශ වී තිබේ නම් එදින ඔහුට ශීල සමාදානයට සුදුසු ය. පොහෝ දින විභාගය මෙසේ ය.

අටවක ය, තුදුස්වක ය, පසළොස්වක ය, ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යි ප්‍ර‍ධාන පෝය සතරෙකි. ශුක්ල පක්ෂය කාලපක්ෂය යි මසකට පක්ෂ කෙක් ඇත්තේ ය. ඒ පක්ෂවල අටවන දිනය අටවක පෝය ය. තුදුස් වන දිනය තුදුස්වක පෝය ය. පසළොස් වන දිනය පසළොස්වක පෝය ය. අවපක්ෂයේ පසළොස් වන දිනයට අමාවකය යි ද මාසේ පෝය යයි ද කියනු ලැබේ. භික්ෂූන් වහන්සේලා වස් එළඹ සිටින තෙමසට ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යි කියනු ලැබේ. චීවර මාසය යි කියනු ලබන මාසය ද එහි පළමු වන පක්ෂය වශයෙන් ගනු ලැබේ.

අෂ්ටාංග ශීලය

නමස්කාර පාඨය තෙවරක් කියා තිසරණය සමාදන් ව මතු දැක්වෙන සික පද අට කියා අෂ්ටාංගශීලය සමාදන් විය යුතුය.

  1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  3. අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  6. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  7. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  8. උච්චාසයනමහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

සිකපදවල තේරුම

  1. ප්‍රාණඝාතයෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
  2. හිමියන් විසින් නුදුන් අන් සතු දෑ සොර සිතින් ගැනීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
  3. අබ්‍ර‍හ්මචරියා නම් ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
  4. බොරු කීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
  5. මදයට හා ප්‍ර‍මාදයට හේතු වන සුරා මේරය පානයෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
  6. නො කල්හි අහර වැළඳීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
  7. බුදුන් වහන්සේගේ අනුශාසනයට පටහැනි වූ නැටුම් ගැයුම් වැයුම් කිරීමෙන් හා කරවීමෙන් ද, බැලීමෙන් හා ඇසීමෙන් ද, මල් ගඳ විලවුන් දැරීමෙන් ද, ඒවායින් සිරුරේ අඩු තැන් පිරවීමෙන් ද, සම පැහැපත් කිරීමෙන් ද වැළකීම වූ සික පදය සමාදන් වෙමි.
  8. උසසුන් මහසුන්වල හිඳීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

අරුණෝදයේ පටන් හිරු මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර වළඳන කාලය යි. හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර නො ගන්නා කාලය වූ විකාලය ය. හෙවත් නො කාලය ය. ආහාර වශයෙන් ගන්නා දෙයක්, යටත් පිරිසෙයින් එක බත් හුලක් වුව ද නො කල්හි උගුරෙන් එතරට කිරීමෙන් සවන සික පදය බිඳෙන්නේ ය.

උච්චාසයන යනු මධ්‍යම පුරුෂයාගේ අතින් රියනකට වඩා උස් වූ පා ඇති අසුන් ය. මෙ කල උච්චාසයන භාවිතයක් දක්නට නැත. මහාසයන යනු බොහෝ සුව ගෙන දෙන්නා වූ ආසනයෝ ය. මහා සයනයට අයත් වන අසුන් බොහෝ ගණනක් විනයෙහි දක්වා තිබේ. ඒවායින් බොහෝ වක් මෙකල භාවිත කරන අසුන් නො වේ.

අටසිල් සමාදන් වන්නවුන් විසින් පිළිපැදිය යුතු ආකාරය

පොහෝ දිනයන්හි උදෑසනින් නැගිට ශරීරය පිරිසිදු කර ගෙන අහර වළඳා සුදු වත්හැඳ පොරවා සිල් සමාදන් විය යුතු ය. සුදුවත් නැති කල්හි තමාට ඇති පිරිසිදු වතක් හැඳ සිල් සමාදන් වූවාට වරදක් නැත. පෙරවන්නට වතක් නැතිනම් නො පොරවා සිල් සමාදන් වූවාට ද වරදක් නැත. සිල් සමාදන් වීමෙන් පසු සුවඳ මල් ආදිය ඇතිනම් ඒවා පුදා තුනුරුවන් වැඳීම කළ යුතු ය. මල් ආදිය නැති කල්හි වන්දනාව පමණක් වුව ද කළ යුතුය. ඉක්බිති විවේක ස්ථානයකට එළඹ තමා සමාදන් වූ ශීලය සිකපදයක් පාසා මෙනෙහි කොට ප්‍රීතිය උපදවා ගත යුතුය. ඉක්බිති භාවනා කිරීමෙන් හෝ බණ ඇසීම බණ කීම බණ පොත්පත් කියවීම යන මේවායින් යම් කිසිවක් කරමින් කල් යවා දවල් දානය ගන්නා වෙලාව පැමිණි කල්හි ආහාරය සැපයෙන තැනකට ගොස් සන්සුන් ව ආහාර කිස කොට නිමවා, ක්ලාන්ත ගතිය ඇතිනම් ඇසිල්ලක් සැතපී නැගිට පෙර සේ ම රත්නත්‍ර‍ය වැඳ පුදා, විවේක ස්ථානයකට එළඹ ශීලය මෙනෙහි කොට භාවනා කිරීම් ආදියෙහි යෙදී සවස් වූ පසු කැමති නම් තවත් වරක් සිල් සමාදන් වී රාත්‍රී කාලය ද භාවනා කිරීම් ආදියෙන් හැකි තාක් කාලය ගත කොට සැතපී පසු දින තුනුරුවන් වැඳ පුදා දෙවියන්ට හා මිය ගිය ඤාතීන්ට ද සියලු සත්ත්වයන්ට ද පින් පෙත් දී තෙමේ ද යම් කිසි ප්‍රාර්ථනයක් කොට සිල් පවාරණය කළ යුතු ය.

පිනක් කළ කල්හි කෙලෙස් වැඩීමට හේතු නොවන සසර දික් වීමට හේතු නො වන යම් කිසි ප්‍රාර්ථනයක් කළ යුතු ය. “ඉජ්ඣති භික්ඛවෙ! සීලවතො චෙතො පණිධි විසුද්ධත්තා” යි වදාළ පරිදි ප්‍රාර්ථනය සිදු වන්නේ ද සිල්වතාට ම ය. දුශ්ශීලත්වය ප්‍රාර්ථනය සිදු වීමට බාධාවෙකි.

ජලයෙහි පියවි ඇසට නො පෙනෙන කුඩා සතුන් සමහර විට සිටිය හැකි බැවින් සිල් සමාදන්ව සිටින කාලයේ දී පැන් පෙරා පරිභෝගයට ගත යුතු ය. අනුන් අයිති තණ පතක් පමණ දෙයකුදු හිමියන්ගෙන් නො විචාරා නො ගත යුතු ය. බ්‍ර‍හ්මචරියාව පිරිසිදු වනු පිණිස ඖදාරික මෛථුනයෙන් පමණක් නො ව සප්ත මෛථුනයෙන් ම වැළකී විසිය යුතු ය. කතා කරත හොත් සිල් රකිනවුන් විසින් හළ යුතු දෙතිස් කථාවට අයත් නො වන දැහැමි කතාවක් ම කළ යුතු ය. ඉර මුදුනට එන්නට මත්තෙන් අහර වළඳා මුව පිරිසිදු කර ගත යුතු ය. නැටුම් නො බැලිය යුතු ය. ගීත නාද තූර්‍ය්‍ය නාද නො ඇසිය යුතුය. ඒවායින් සිල් බිඳෙන්නේ ඕනෑ කමින් බැලීම හා ඇසීම කිරීමෙනි. තමා අන් කරුණක් සඳහා යන කල්හි අතර මග දී මුණ ගැසීමෙන් හෝ තමා ඉදිරියට ඇවිත් නටන කල්හි දැකීමෙන් හෝ ශීලය නො බිඳේ. ගැයුම් වැයුම් පිළිබඳව ශීල භේදය වන සැටි ද ඒ නියායෙන් තේරුම් ගත යුතු ය. සුවඳ ඇඟ ගැල්වීම මල් පැළඳීම නො කළ යුතු ය. රන් රිදී ආභරණ ද මල් සංඛ්‍යාවෙහි ලා සැලකිය යුතුය. එක් රියන් හමාරකට වඩා උස් පා ඇති අසුන්වල නො හිඳිය යුතුය. පුළුන් පුරවා කුෂන් කළ ඇඳ පුටුවල ද පුළුන් මෙට්ටවල ගුදිරිවල ද නො හිඳිය යුතු ය. සතුන්ගේ පා වැනි විසිතුරු පා ඇති අසුන්වල නො හිඳිය යුතු ය. ඇවිදීම අඩු කොට විවේක ස්ථානවල විසිය යුතුය.

ශීලය මෙනෙහි කරන ක්‍ර‍මය

  1. රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නාහ. මම ද අද ප්‍රාණඝාතයෙන් වෙන්ව සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
  2. රහතන් වහන්සේලා දිවි හිමියෙන් සොරකමින් වෙන්ව ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නාහ. මම ද අද සොරකමින් වෙන් ව ඇද නැති පිරිසිදු සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
  3. රහතන් වහන්සේලා දිවි හිමියෙන් ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව පිරිසිදුව වාසය කරන්නාහ. මම ද අද ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
  4. රහතන් වහන්සේලා දිවි හිමියෙන් බොරු කීමෙන් වැළකී සෑම තැනදී ම සත්‍යය පාවිච්චි කරමින් අවංක ව වාසය කරන්නාහ. මම ද අද බොරු කීමෙන් වෙන් ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
  5. රහතන් වහන්සේලා දිවි හිමියෙන් සුරාමේරය පානයෙන් වෙන්ව වාසය කරන්නාහුය. මම ද අද සුරාමේරය පානය හැර රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
  6. රහතන් වහන්සේලා දිවි හිමියෙන් නො කල්හි අහර වැළඳීමෙන් වෙන්ව වාසය කරන්නාහු ය. මම ද අද නො කල්හි ආහාර වැළඳීමෙන් වෙන් වී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
  7. රහතන් වහන්සේලා දිවි හිමියෙන් කුශල පක්ෂයට පටහැනි වූ නැටුම් ගැයුම් වැයුම් ආදිය කිරීමෙන් ද කරවීමෙන් ද බැලීමෙන් හා ඇසීමෙන ද මල් පැළඳීමෙන් ද සුවඳවලින් හා විලවුන්වලින් ශරීරය සුවඳ කිරීමෙන් ද වර්ණවත් කිරීමෙන් ද අඩු තැන් පුරවා සැරසීමෙන් ද වැළකී සිටින්නාහු ය. මම ද අද එසේ රහතන් වහන්සේලාට අනුව පිළිපදිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.
  8. රහතන් වහන්සේලා දිවි හිමියෙන් උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකී සිටින්නාහ. මම ද අද උසසුන් මහසුන් පරිභෝගයෙන් වෙන් ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

මෙසේ සික පදයක් පාසා මෙනෙහි කරනු. මෙසේ මෙනෙහි කිරීමෙන් ශීලමය කුශල රාශියක් සිදුවේ.

සප්ත මෛථුනය

  1. ස්ත්‍රීන් විසින් කරන නෑවීම් ඇඟ ඉලීම් අත්පා පිරිමැදීම් ආදිය පිළිගැනීම ඒවාට සතුටු වීම.
  2. ස්ත්‍රීන් හා කෙළි කවටකම් කිරීම ඔවුන්ගේ ඇඟේ සැපෙමින් ක්‍රීඩා කිරීම ඔවුන් හා මහත් කොට සිනාසීම යන මේවායින් සතුටු වීම.
  3. ස්ත්‍රීන්ගේ රූපය බල බලා සතුටු වීම.
  4. ස්ත්‍රීන්ගේ හඬ අසමින් සතුටු වීම.
  5. පෙර ස්ත්‍රීන් හා කළ කෙලි සිනා ආදිය සිහි කරමින් සතුටු වීම.
  6. පස් කම් සැප විඳින්නා වූ අන්‍යන්ගේ සම්පත් බලා සතුටු වීම.
  7. රක්නා වූ මේ ශීලයෙන් දෙවියෙක් වෙම්වායි පතා ඒ දිව්‍ය සම්පත්තියට සතුටු වීම, ලෝභ කිරීම.

මේ කරුණු සතට සප්ත මෛථුනය යි කියනු ලැබේ. මෙය පුරුෂ පක්ෂයට ගැලපෙන සැටියට දක්වන ලද්දකි. ස්ත්‍රීන්ගේ සප්ත මෛථුනය ද පුරුෂයන්ගේ වශයෙන් කිය යුතුය. ඖදාරික මෛථුනයෙන් වැළකුණේ ද මේ කරුණුවලින් නො වැළකෙන තැනැත්තාගේ බ්‍ර‍හ්මචර්‍ය්‍යාව අපරිශුද්ධය.

සිල් සමාදන් වූවන් විසින් හළ යුතු දෙතිස්කථාව

(1) රජුන් පිළිබඳ කථා ය, (2) සොරුන් පිළිබඳ කථා ය, (3) රජ ඇමතියන් පිළිබඳ කථා ය, (4) සේනා පිළිබඳ කථා ය, (5) භය පිළිබඳ කථා ය, (6) යුද්ධ කථා ය, (7) කෑම පිළිබඳ කථා ය, (8) බීම පිළිබඳ කථා ය, (9) ඇඳුම් පිළිබඳ කථා ය, (10) යහන් පිළිබඳ කථා ය, (11) මල් මාලා පිළිබඳ කථා ය, (12) සුවඳ පිළිබඳ කථා ය, (13) නෑයන් පිළිබඳ කථා ය, (14) රථ වාහන පිළිබඳ කථා ය, (15) ගම් පිළිබඳ කථා ය, (16) නියම් ගම් පිළිබඳ කථා ය, (17) නගර පිළිබඳ කථා ය, (18) ජන පද පිළිබඳ කථා ය, (19) ස්ත්‍රීන් පිළිබඳ කථා ය, (20) ශූරයන් පිළිබඳ කථා ය, (21) වීථි පිළිබඳ කථා ය, (22) වැව් පොකුණු ආදි ජල ස්ථාන පිළිබඳ කථා ය, (23) මියගිය නෑයන් පිළිබඳ කථා ය, (24) නො කියවුණු නොයෙක් දේ පිළිබඳ නිර්ථක කථා ය, (25) විතණ්ඩ කථා නම් නුවණැතියන්ගේ සිත් තැළෙන කථා ය, (26) මුහුද පිළිබඳ කථා ය, (27) ශාස්වත වාදය පිළිබඳ කථා ය, (28) උච්ඡේද වාදය පිළිබඳ කථා ය, (29) දියුණුව පිළිබඳ කථා ය, (30) පිරිහීම පිළිබඳ කථා ය, (31) පස්කම් සැප පිළිබඳ කථා ය, (32) ආත්ම පෙළීම පිළිබඳ කථා ය යන මේ දෙතිස් කථාවෙන් සිල් රක්නවුන් විසින් වැළකිය යුතු ය.

නවාඞ්ග ශීලය

අෂ්ටාඞ්ග ශීලයට අයත් අංග අටට නව වන අංගයක් වශයෙන් මෛත්‍රිය ද එකතු කොට අඞ්ගුත්තර නිකාය නවක නිපාතයෙහි “නවහි භික්ඛවෙ! අඞ්ගෙහි සමන්නාගතො උපොසථො උපයුත්ථො මහප්ඵලො හොති මහානිසංසෝ” යනාදීන් නවාඞ්ග ශීලය වදාරා තිබේ. මෙය වඩා ප්‍ර‍සිද්ධියට පැමිණි ශීලයක් නොවේ. එය සමාදන් වන කල්හි අෂ්ටාංග ශීලයට අයත් සික පදවලට අවසානයට “සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතනා විහරණං සමාදියාමි” යන සික පදය කියා සමාදන් විය යුතුය. “සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් විසීම සමාදන් වෙමි ය” යනු එහි තේරුම ය. මේ ශීලය පුද්ගලාධ්‍යාසය අනුව මෛත්‍රී භාවනාව නව වන අඞ්ගය කොට දේශනය කරන ලද්දකි. මෙය සමාදන් වන්නහු විසින් හැකිතාක් මෛත්‍රී භාවනාව කොට නව වන අඞ්ගය සම්පූර්ණ කළ යුතු ය.

දශ ශීලය

අඞ්ග දහයක් ඇති ශීලය දස ශීලය යි. එය පොහෝ දිනයන්හි රක්නා ශීලයක් සැටියට හා නිත්‍ය ශීලයක් වශයෙන් ද රැකිය හැකි ය. එහි සිකපද මෙසේ ය.

  1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  3. අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  6. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  7. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  8. මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  9. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  10. ජාත රූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

මේ සික පදවල තේරුම අෂ්ටාංග ශීලය දැක්වීමේ දී දක්වන ලදි. අෂ්ටාංග ශීලයේ සත්වන සික පදය මෙහි සික පද දෙකක් වශයෙන් ගෙන තිබේ. දස වන පදයේ තේරුම, රන් රිදී හා ඒවා වෙනුවට පාවිච්චි කරන මිල මුදල් පිළිගැනීමෙන් ද වැළකීම වූ සිකපදය සමාදන් වෙමිය යනුයි. මේ ශීලය රක්නවුන් විසින් මුදල් පරිහරණය නො කළ යුතු ය.

ධුතාඞ්ග සමාදන් වීමේ පිළිවෙළ

සිල් රක්නා පින්වතුන්ට වැඩි දුරටත් අල්පේච්ඡතාදි ගුණ දියුණු කර නිවන් ළංකර ගැනීමට ධුතාංගයෝ උපකාරක වෙති. ධුතාංග තෙළෙසකි. ඒ සියල්ල ම රැකිය හැක්කේ පැවිද්දන් විසිනි. ඒකාසනිකාංගය, පත්ත පිණ්ඩිකාංගය යන දෙක උපාසකෝපාසිකාවන්ට ද රැකිය හැකිය. වැඩි දුරටත් ගුණදම් පුරුදු කරනු කැමති පින්වතුන් විසින් සිල් සමාදන් වීමෙන් පමණක් නො නැවතී සිල් සමාදන් වන දිනයන්හි ඒකාසනිකාංග, පත්තපිණ්ඩිකාඞ්ග දෙකින් එකක් හෝ දෙකම හෝ සමාදන් වී රක්ෂා කිරීම ද මැනවි. ඒකාසනිකාංගය සමාදන් වන්නේ මෙසේ ය. උදෑසන යම්කිසි ආහාරයක් නො වළඳා සිල් සමාදන් වී “නානාසන භෝජනං පටික්ඛිපාමි, එකාසනිකංගං සමාදියාමි” යන වාක්‍යය තුන් වරක් කියා හෝ සිතා හෝ ඒකාසනිකාංගය සමාදන් විය යුතු ය. නොයෙක් ඉඳුම්වලින් ආහාර වැළඳීම අතහරිමි, එක් හිඳීමකින් වළඳන්නා වූ අංගය සමාදන් වෙමිය’ යනු එහි තේරුම යි. මෙහි නානාසනය යි කියනුයේ නොයෙක් වර හිඳ ගන්නා හිඳුම්වලට ය. ඒකාසනය යි කියනුයේ එක්වර හිඳ ගැනීමට ය. මෙය සමාදන් වූ තැනැත්තා විසින් එක් වරකට ම මුළු දවසට ම සෑහෙන ආහාර වැළඳිය යුතු ය. එදින නැවතත් ආහාරයක් ගතහොත් ධුතාංගය බිඳේ. ගිලන්පස වැළඳුවාට වරදක් නැත.

‘දුතියක භාජනං පටික්ඛිපාමි, පත්තපිණ්ඩිකංගං සමාදියාමි’ යන වැකිය තුන් වරක් කියා හෝ සිතා පත්තපිණ්ඩිකාංගය සමාදන් විය යුතුය. ‘දෙවන භාජන ප්‍ර‍තික්ෂේප කරමි. පත්තපිණ්ඩිකාංගය සමාදන් වෙමිය’ යනු එහි තේරුම ය. මෙය රක්නා තැනැත්තා විසින් වළඳන අහර සියල්ල ම එකවර එක් භාජනයකට ගෙන වැළඳිය යුතුය. මිශ්‍ර‍ වූ කල්හි වැළඳිය නොහෙන ආහාරයක් වේ නම් එය වළඳන භාජනයට ගෙන පළමු ව හෝ පසුව වැළඳිය යුතු ය. දෙවන භාජනයක් වශයෙන් කෙසෙල් පතකුදු ගතහොත්, ධුතාංගය බිඳේ. ආහාරය පිළිගන්නා කල්හි ද පමණ ඉක්මවා නො ගෙන සෑහෙන පමණට පිළිගත යුතු ය. මේ ධුතාංග දෙක ම එකවර සමාදන් වී රැකිය හැකි ය.

සිල් රැකීමේ අනුසස්

“පඤ්චිමේ භික්ඛවේ! ආනිසංසා සීලවතො සීල සම්පදාය. කතමේ පඤ්ච? ඉධ භික්ඛවෙ සීලවා සීල සම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති. අයං භික්ඛවෙ පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවතො සීල සම්පදාය කල්‍යාණො කිත්ති සද්දො අබ්භූග්ගච්ඡති. අයං භික්ඛවෙ දුතියො ආනිසංසො සීලවතො සීල සම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවා සීලසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තිය පරිසං වා යදි බ්‍රාහ්මණ පරිසං වා යදි ගහපති පරිසං වා යදි සමණ පරිසං වා විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො, අයං තතියෝ ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන ච පරං භික්ඛවෙ සීලවා සීල සම්පන්නො අසම්මූළ්හො කාලං කරොති. අයං භික්ඛවෙ චතුත්ථො ආනිසංසො සීලවතො සීල සම්පදාය, පුන ච පරං භික්ඛවෙ සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. අයං භික්ඛවෙ පඤ්චමෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය.”

මෙයින් ශීලයෙන් ලැබෙන අනුසස් පසක් ප්‍ර‍කාශිත ය. මහත් වූ භෝගස්කන්ධයක් ලැබිය හැකි බව ය, යහපත් කීර්තියක් ඇති වන බව ය. ඕනෑම පිරිසකට නිර්භීත ව යා හැකි බව ය, නො මුළා වී කාල ක්‍රියා කරන බව ය, මරණින් මතු ස්වර්ගයට පැමිණෙන බව ය යන මේ පස එයින් ප්‍ර‍කාශිත ශීලානිසංසයෝ ය.

සාසනෙ කුල පුත්තානං - පතිට්ඨා නත්ථි යං විනා

ආනිසංස පරිච්ඡේදං - තස්ස සීලස්ස කො වදෙ.

මේ ශාසනයෙහි කුල පුත්‍ර‍යනට ශීලය හැර අන් පිහිටෙක් නැත. ඒ ශීලයාගේ ආනිසංස පරිච්ඡේදය කවරෙක් කීමට සමත් වේද? කිසිවෙක් සමත් නොවේ ය යනු මෙහි අදහස ය. ශීලයෙන් කිය නොහෙන තරමේ අනුසසක් ලැබෙන බව එයින් ප්‍ර‍කාශිත ය. කෙටියෙන් කියත හොත් සකල ලෞකික ලෝකෝත්තර සම්පත්තිය ම ශීලයෙන් ලැබෙන බව කිය යුතු ය.

මෙතෙකින් ශීල කථාව නිමියේ ය.

3. භාවනාව

භාවනාමය කුශලය වනාහි කුශලයන් අතුරෙන් අග්‍ර‍ වූ කුශලය ය. දාන ශීල දෙකින් ලැබෙන අනුසස් සියල්ල හා ඉන් නො ලැබිය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පත් ද භාවනාවෙන් ලැබිය හැකිය. පව් නැති කිරීමේ ශුද්ධියට පැමිණීමේ ප්‍ර‍ධාන මාර්ගය ද භාවනාව ම ය. සතර සතිපට්ඨාන ය, සතර සම්‍යක් ප්‍ර‍ධාන ය, සතර සෘද්ධිපාද ය, පඤ්චේන්ද්‍රිය ය, පඤ්ච බලය ය, සප්ත බෝධ්‍යඞ්ගය ය, ආර්‍ය්‍යාෂ්ඨාංගික මාර්ගය ය යන මේ සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම ය යනු ද භාවනාව ම ය. භාවනාවෙහි යෙදෙන කල්හි බෝධිපාක්ෂික ධර්මයෝ වැඩෙති. අන් ක්‍ර‍මයකින් ඒ ධර්මයෝ නො වැඩෙති. භාවනා කිරීම හැර බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමය කියා අන් කළ යුත්තක් නැත.

සමථ භාවනාව ය, විදර්ශනා භාවනාව යයි භාවනාව දෙවැදෑරුම් වේ. සමථ භාවනාව යනු සමාධිය දියුණු කිරීම ය. විදර්ශනා භාවනාව යනු ප්‍ර‍ඥාව දියුණු කිරීම ය. සමාධිය යනු සිතට නොයෙක් අරමුණුවල විසිරෙන්නට නො දී එය එක් අරමුණක පිහිටවන්නා වූ චෛතසික ධර්මයෙකි. එහි බලයෙන් සිත එකඟ වේ. සමාධිය ඇති කර ගැනීම පහසු නො වේ. එය කර ගත හැකි වන්නේ ඉතා ඕනෑ කමකින් බලවත් උත්සාහයෙන් එය වඩන්නාට ය. සමාධිය ඇති කර ගැනීමේ ඕනෑ කමක් නැති ව එය ගැන දැනීමකු දු නැති ව භාවනා කරමි යි කියා යම් කිසිවක් කියමින් සිටියාට සමාධිය නො වැඩේ. සමාධිය වැඩෙන්නට නම් බලවත් වීර්යයෙන් හා සිහියෙන් සිත අනිත් අරමුණු කරා යාම හැකිතාක් වළක්වාගෙන ක්‍ර‍මානුකූල ව භාවනාවෙහි යෙදිය යුතු ය. කලාතුරකින් දිනක පමණක් භාවනාවෙහි යෙදීමෙන් ද සමාධිය නො ලැබිය හැකි ය. සමාධිය වැඩෙනුයේ දිනපතා ස්වල්ප වේලාව බැගින් වුව ද ක්‍ර‍මානුකූලව භාවනාවෙහි යෙදෙන තැනැත්තාට ය. සමාධිය වැඩෙත් වැඩෙත් ම සිත භාවනාරම්මණයෙහි තැබීම පහසු වේ. සමාධිය සමග ම සිත ද, ශ්‍ර‍ද්ධා ප්‍ර‍ඥාදීහු ද වැඩෙති. සිත කිළිටි කරන්නා වූ දුබල කරන්නා වූ නීවරණයෝ අනුක්‍ර‍මයෙන් තුනී වෙති. මාස කීපයක් භාවනා කොට සිත දියුණු කළ තැනැත්තා හට පෙර නොතිබූ විශේෂ චිත්ත බලයක් ඇති වේ. අන්‍යයන්ගේ සිත් ඔහුගේ සිතට වඩා දුබල බැවින් අන්‍යයෝ ඔහුට තරමක් අවනත වෙති. ඔහුගේ බසට අන්‍යයෝ කීකරු වෙති. ඔහුගේ අදහස් ද සිදු වන්නට පටන් ගනී. ඔහුට සිතීමෙන් ම තමාගේ ශරීරයෙහි ඇති වන ඇතැම් ආබාධ පහසුකර ගත හැකි, සුව කර ගත හැකි ශක්තියක් ලැබේ. මේ චිත්ත බලය යම් කෙනකුට ඇති නම්, එය ඔහුගේ මෙලොව දියුණුවට ද උපයෝගී කර ගත හැකි ය. සමාධිය වැඩී දියුණු වීමෙන් රූපාවචර අරූපාවචර ධ්‍යානයෝ උපදිති. ඒවා තව දුරටත් ක්‍ර‍මානුකූල ව දියුණු කර ගත හැකි වුවහොත් අභිඥා බලය ඇති වේ. එයින් අහසින් යාම ආදි පුදුම දේ කළ හැකි ය. තමාගේ චරිතයට යෝග්‍ය භාවනාවක් තෝරා ගනු පිණිස භාවනා සතළිසක් බුදුසමයෙහි ඇත ද, ඒ සියල්ල මෙ බඳු පොතකින් විස්තර කළ නො හෙන බැවින් බොහෝ දෙනාට සුදුසු වන්නා වූ ද, සාමාන්‍යයෙන් සැමට ම සුදුසු ය යි කිය යුතු වූ ද, පහසුවෙන් කළ හැකි වූ ද භාවනා ක්‍ර‍ම සතරක් පමණක් මෙහි විස්තර කරනු ලැබේ.

බුද්ධානුස්මෘති භාවනාව

බුදුන් වහන්සේගේ ගුණයන් අතුරෙන් යම් කිසි ගුණයක් නැවත නැවත සිතමින් එහි සිත සමාධියට පැමිණවීම බුද්ධානුස්මෘති භාවනාව ය. බුදුන් වහන්සේගේ ගුණයෝ ඉතා බොහෝ ය. ඒ ගුණ කොටස් නවයකට බෙදා තිබේ. අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතො, ලෝකවිදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි, සත්ථා දෙවමනුස්සානං, බුද්ධෝ, භගවා යන පද නවයෙන් ඒ ගුණ සමූහය දක්වනු ලැබේ. බුද්ධානුස්මෘති භාවනාව කරනු කැමතියන් විසින් ඒ ගුණ නවය හොඳින් පාඩම් කර ගත යුතු ය.

  1. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූ සේක.
  2. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ ද කාලමුක්ත වූ ද සකල ධර්ම සමූහය පරෝපදේශ රහිත ව තමන් වහන්සේ විසින් ම නො වදරවා දැන වදාළ සේක.
  3. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘර්ධ වූ විදර්ශනා ඥානාදි විද්‍යාවෙන් හා ශීලාදි චරණයෙන් ද සම්පූර්ණ වූ සේක.
  4. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාන ශීලාදි සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළ සේක.
  5. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්‍ර‍ය නිරවශේෂයෙන් දැන වදාළ සේක.
  6. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුණ්‍යමාන බලමාන ප්‍ර‍ඥාමාන සෘද්ධි මානාදි අනේවිධ මානයෙන් උඩඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යක්ෂ රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර‍ වූ සේක.
  7. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍ර‍තිලාභය පිණිස ද අනුශාසනය කරන සේක.
  8. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන නොයෙක් දහස් ගණන් දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවන සේක.
  9. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය අනන්ත සෘද්ධි අනන්ත ඥාන අනන්ත තේජෝ බල පරාක්‍ර‍මයෙන් යුක්තව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූ සේක.

මේ බුදු ගුණ වගන්ති නවය හොඳින් පාඩම් කර ගෙන බුද්ධ වන්දනාව සඳහා ද භාවිත කළ යුතු ය. තමනට නො තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීම යහපත් ය. වන්දනා කරන කල්හි මේ වගන්ති නවය කියා අවසානයෙහි “මේ නව වැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්ත්‍රයෙන් වඳිමි.” යනු කියා බුද්ධ වන්දනාව කළ යුතුය.

බුද්ධානුස්මෘති භාවනාව කරන තැනැත්තා විසින් බුදු ගුණ වගන්ති නවය අත් නො හැර ම බුද්ධ වන්දනාව සඳහා භාවිත කළ යුතුය. ඒ වගන්ති නවයෙන් තමාගේ සිතට වඩා හොඳින් වැටහෙන තමා වඩා ප්‍රිය කරන එක් වගන්තියක් භාවනාව සඳහා තෝරා ගත යුතු ය. ඉක්බිති තමා ප්‍රිය කරන බුදුරුවක් දෙස බොහෝ වේලාවක් හොඳින් බලා එය හොඳින් සිතට ගත යුතු ය. බුදු රුවෙහි අවයවයන් වෙන වෙන ම ද බලා හොඳින් සිතට ගත යුතු ය. බුදු රූ සටහන අමතක නො වනු පිණිස වරින් වර නැවතත් බැලිය යුතු ය. ආරම්භයේ දී භාවනාව බුදු රුවක් ඉදිරියේ ම කළ හැකි නම් වඩාත් හොඳ ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි යම් කිසි විවේක ස්ථානයක බද්ධ පර්‍ය්‍යඞ්කයෙන් හිඳ, කය සෘජුව තබා ගත යුතුය. එය භාවනාවට ඉතා ම සුදුසු හිඳ ගැනීමේ ක්‍ර‍මය ය. එසේ හිඳ ගත යුත්තේ පුරුෂයන් විසින් පමණෙකි. එය ස්ත්‍රීන්ට අයෝග්‍ය ය. ස්ත්‍රීන් විසින් අර්ධ පර්‍ය්‍යඞ්කය යි කියනු ලබන පා දෙක පිටිපසට නමා වාඩිවීමේ ක්‍ර‍මයට හිඳ ගත යුතුය.

පෙර බුද්ධ ශ්‍රාවිකාවන් අර්ධ පර්යඞ්කයෙන් හිඳ ගත් බව මහා ප්‍ර‍ජාපතී ගෝතමි අපදානයෙහි එන :

“සා තාහි සහ ගන්ත්වාන - භික්ඛුනූපස්සයං සකං

අඩ්ඪපල්ලඞ්ක මාභුජ්ජ - නිසීදි පරමාසනෙ.”

යන ගාථාවෙන් පෙනේ. බද්ධ පර්‍ය්‍යංකයෙන් වාඩි විය නො හෙන පුරුෂයන් විසින් හා අර්ධ පර්‍ය්‍යංකයෙන් හිඳ ගත නොහෙන ස්ත්‍රීන් විසින් ද තම තමාට හැකි පරිද්දකින් හිඳ ගෙන භාවනා කළ යුතු ය. අන් ඉරියව්වකින් භාවනා කළාට ද වරදක් නැත. විවේක ස්ථානයේ හිඳගෙන ඇස පියා ගෙන කලින් බලා ගත් බුදුරුව මෙනෙහි කර බුදුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින සැටියට සිතා ගෙන ඒ බුදුන් අරමුණු කොට “මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනාකාරයෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයනට සුදුසු වූ සේක.” යනාදීන් තමා භාවනා කරන්නට තෝරාගත් වගන්තිය මෙනෙහි කොට භාවනා කරන්නට පටන් ගත යුතු ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි පැය කාලයට අඩු නො වන කාලායක් නියම කරගෙන ඒ කාලය සම්පූර්ණ වනතුරු නොනවත්වා භාවනා කළ යුතුය. එය කරන කල්හි අනෙකක් ගැන නො සිතනු. සිත අනෙකකට යොමු වන්නට නො දීමට හැකි තාක් උත්සාහ කරනු. සිහියෙන් යුක්ත වනු.

නව ගුණවැල

නව ගුණවැල භාවනාව ප්‍ර‍මාණ කර ගැනීම පිණිස සියලු ඉරියව්වල දී ම භාවිතයට සුදුසු ඉතා ප්‍රයෝජනවත් උපකරණයෙකි. බුද්ධානුස්මෘතිය වැඩීමට ඇට සියයක් ඇති නව ගුණ වැලක් ගත යුතු ය. නව ගුණ වැල පාවිච්චි කරන්නවුන් විසින් භාවනාවට හිඳගෙන කාලය ගැන සැලකීමක් නො කොට වාර ගණන ගැන සැලකිය යුතු ය. මෙ පමණ වාර ගණනක් භාවනා කරමියි වාර ගණන නියම කරගෙන නව ගුණ වැලේ ඇටවලින් වාර ගණන් ගැණ ගත යුතු ය. එක් හිඳ ගැනීමක දී සිය වරකට අඩු නො වන්නට භාවනා කරනු. දිනකට දහස් වරක් පිරවිය හැකි නම් ඉතා යෙහෙකි. උදය කාලයේ පන්සිය වාරයක් හා සවස් කාලයේ පන්සිය වරක් ද භාවනා කිරීමෙන් දහස පිරවිය හැකි ය.

භාවනාව වියදමක් නැති ව කාහටත් කරගත හැකි උසස් පින්කමෙකි. රැකී රක්ෂා කරන්නවුන්ට ඒවා කරමින් ම භාවනා කළ හැකි ය. රෑ නිදන්නට සූදානම් වන කල්හි නින්ද යන තුරු භාවනා කළ හැකි ය. ඉර උදාවන තෙක් නො නිදා කල් ඇති ව නැගිට එළිය වැටෙන තුරු භාවනා කළ හැකි ය. ඒ වේලාව භාවනා කිරීමට ඉතා ම හොඳ වේලාවකි. බොහෝ යෝගාවචරයන් රහත් වන්නේ ද, බුදුවරු බුදු වන්නේ ද ඒ වේලාවේ ය. ගමනක් යන තැනැත්තාට යෙමින් ම භාවනා කළ හැකි ය. වෙළෙන්දාට බඩු ගැනීමට කෙනකු එන තුරු භාවනා කළ හැකි ය. ගොවියාට ගොවිපළට කෙනකු එන තුරු භාවනා කළ හැකි ය. ගොවියාට ගොවිපළට යන තෙක් භාවනා කළ හැකි ය. කම්කරුවාට කම්හලට යන එන අතර භාවනා කළ හැකි ය. දිනපතා භාවනාවට නියම කර ගෙන තිබෙන කාලය හැර අවකාශ ලැබෙන අවස්ථාවල දී ද භාවනා කරන්නට පුරුදු කර ගත යුතු ය. අත් නො හැර භාවනා කරගෙන යන පින්වතාට එහි ඵලය මෙලොව දී ම දක්නට ලැබෙනවා ඇත.

නානාරම්මණයෙහි වික්ෂිප්ත ව දීර්ඝ කාලයක් පැවැත්තා වූ සිත ඉක්මණින් ම එක අරමුණක තැබිය හැකි තැනට නො පැමිණ විය හැකි ය. එයට කලක් ගත වේ. එයට වීර්‍ය්‍ය කරන කල්හි සිත කය දෙක ම වෙහෙසට පත් වේ. ඒ උත්සාහය කරන කල්හි ශරීරයේ ඇතැම් සියුම් කොටස් ගෙවෙන්නේ ය. එයින් ශරීරය දුබල විය හැකි ය. හිසේ රෝග ඇස් රෝග කන් රෝග ළයේ රෝග කුස තුළ වාත රෝග තුනටියේ වාත රෝග ඇති විය හැකි ය. ඒ නිසා භාවනාව කරන තැනැත්තා ඉක්මන් නො විය යුතු ය. පටන් ගැනීමේදී එක් වරකට පැය කාල බාගය යනාදීන් භාවනා කොට වැඩි වේලාවක් භාවනා කළ හැකි වන්නට ක්‍ර‍මයෙන් පුරුදු කර ගත යුතු ය. පටන් ගැනීමේ දී ම දවස මුළුල්ලේ ම භාවනා කරන්නට ගියහොත් සමහර විට උමතු ද විය හැකි ය. යම්කිසි ආබාධයක් භාවනාව නිසා ඇති වුවහොත් එය සුවවන තුරු ටික දිනකට භාවනා කිරීම නැවැත්විය යුතු ය.

පරෙස්සම් විය යුතු කරුණක්

කියන ලද ක්‍ර‍මයෙන් බුද්ධානුස්මෘති භාවනාව කලක් කර ගෙන යන කල්හි ඇස පියාගත් විට ඉදිරියේ වැඩ සිටින්නාක් මෙන් බුදුරුව පෙනෙන්නට පටන් ගත හැකිය. එසේ වුවහොත් එය දියුණු කරගත යුතු ය. සමහරුන්ට කලක් භාවනා කරගෙන යන විට නොයෙක් දේ පෙනෙන්නට වේ. සමහර විට දෙවිවරුන් තමා වෙත පැමිණ සිටින්නාක් මෙන් ද රූපත් ස්ත්‍රී පුරුෂයන් පැමිණ සිටින්නාක් මෙන් ද තවත් සමහර විට භූතයන් පැමිණ සිටින්නාක් මෙන් ද තවත් නොයෙක් දේ පෙනෙන්නට විය හැකි ය. ඔවුන් විසින් නොයෙක් දේ කියනු ඇසෙන්නට ද පුළුවන. ඒවා සත්‍ය වූ ඇසීම් පෙනීම් නොවේ. ඒවා සත්‍ය සිද්ධි වශයෙන් පිළිගෙන ක්‍රියා කරන්නට නො යා යුතු ය. ඒවා පෙනුණු කල්හි සිත ඒවාට යොමු කළහොත් ඒ විකාර රූප වඩ වඩා පෙනෙන්නට පටන් ගැනීමෙන් කරදර විය හැකි ය. එබැවින් ඒවාට සිත යොමු නොකර භාවනාව ම කරනු. භයානක රූප පෙනුණත් භයානක හඬ ඇසුණත් ඒවා සත්‍ය වශයෙන් ඇති දේ නො වන නිසා නොබිය විය යුතු ය. ඒ පෙනෙන ඇසෙන දෑ සත්‍ය වශයෙන් පිළිගෙන ඒවා අනුව ක්‍රියා කරන්නට ගියහොත් ඒවා බොහෝ වැඩි වී උමතු වන්නට ද ඉඩ ඇති බැවින් විශේෂයෙන් ඒවායින් පරෙස්සම් විය යුතු ය. ඒවායේ සත්‍යාසත්‍ය සොයන්නට ගිය හොත් වඩා මුළා විය හැකි බැවින් පෙනුණ කෙණෙහි ම ඒවා බැහැර කරනු. බැහැර කිරීම නම් ඒවා මෙනෙහි නො කර නො බලා හැරීම ය.

බුද්ධානුස්මෘති භාවනාවේ අනුසස්

බුද්ධානුස්මෘති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සන්තානය නිතර උපදනා බුදු ගුණ පිළිබඳ සිත්වලට වාසස්ථානයක් වීමෙන් චෛත්‍යයක් බඳු වේ. එයින් ඒ පුද්ගලයා මෙලොව වාසනාවත් පුද්ගලයෙක් වේ. එ බැවින් බුද්ධානුස්මෘතිය වඩනා පුද්ගලයා පැවිද්දෙක් නම් පැවිද්දකු විසින් පැමිණිය හැකි දියුණුවට ද ගිහියෙක් නම් ගිහියකු විසින් පැමිණිය හැකි දියුණුවට ද මෙලොවදීම පැමිණේ. මේ භාවනාව කිරීම බුදුන් වහන්සේ සමග විසීමක් වැනිය. එබැවින් ඔහුගේ සිත පාපයට නො නැමෙයි. හදිසියෙන් මරණය සිදුවීමක් වතහොත් ඒ අවස්ථාවේ දී ඔහුට බුදුන් සිහි වේ. එයින් හේ මරණින් මතු ස්වර්ගයට මතු ස්වර්ගයට පැමිණෙන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මේ ගුණයෙන් යුක්ත වූ සේකැයි සිහි කරන්නා වූ යෝගාවචරයා හට එ සමයෙහි රාග් ද්වේෂ මෝහයෝ නූපදිති. ඒ හේතුවෙන් ශුද්ධ වූ සිත් ඇති යෝගාවචරයාහට බුද්ධ ගුණය කෙරෙහි නැමී පවත්නා වූ විතර්ක විචාරකයෝ බොහෝ සෙයින් උපදිති. බුද්ධ ගුණයෙහි සිත හසුරුවන්නා වූ යෝගාවචරයාහට ප්‍රීතිය ඇතිවේ. ප්‍රීතිය නිසා ඔහුට කායික චෛතසික පීඩාවෝ සන්සිඳෙති. එයින් ඔහුට සුඛය ඇති වේ. ඒ සුඛය නිසා ඔහුගේ සිත බුද්ධ ගුණාරම්මණයෙහි සමාධියට පැමිණේ. කල් යෑමෙන් ඔහුට විතර්කාදි ධ්‍යානාංගයෝ එක් වර ම පහළ වන්නාහ. එහෙත් බුද්ධ ගුණය ගැඹුරු බැවින් හා බොහෝ බැවින් ද බුද්ධ ගුණාරම්මණයෙහි කසිණාදියෙහි මෙන් ධ්‍යානයෝ නූපදිති. බුද්ධානුස්මෘති භාවනාවෙන් නීවරණයන් බැහැර වී යෝගාවචරයාගේ සිත පිරිසිදු බැවින් ද ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රියයන් දියුණු තියුණු වන බැවින් ද බුද්ධානුස්මෘතියෙන් ලත් සමාධියෙහි පිහිටි යෝගාවචරයා හට විදසුන් වඩා පහසුවෙන් මර්ග පල ලබා නිවන් දැකිය හැකි වන්නේ ය. බුද්ධානුස්මෘතියෙන් සිත සමාධි කොට විදසුන් වඩා රහත් වූවෝ බොහෝ ය.

බුදු ගුණ සිහි කොට බුදුන් වහන්සේ කෙරෙහි එක් වරක් සිත පහදවා ගැනීම ම මරණින් මතු දෙව් ලොව ඉපදීමට හේතුවන පිනකි. “මට්ටකුණ්ඩලී” ආදි බොහෝ දෙනකු බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් දෙව්ලොවට පැමිණි බව දක්වා තිබේ. යමෙක් භාවනා කිරීම් වශයෙන් නැවත නැවත බුදු ගුණ මෙනෙහි කෙරේ නම් ඔහුට එයින් මහත් වූ පුණ්‍ය සම්භාරයක් අත් පත් වීම ගැන කියනුම කිම? එබැවින් දුකින් මිදෙනු කැමැත්තෝ මේ උතුම් භාවනාව ආදරයෙන් කරත්වා!

මෛත්‍රී භාවනාව

අන්‍යයන්ට දුක් නො වෙනවාට සැප ඇති වෙනවාට යහපතක් වෙනවාට අනුන්ගේ යහපත් අදහස් ඉටු වෙනවාට අනුන් දියුණු වෙනවාට උසස් වෙනවාට කැමති බව මෛත්‍රිය ය. අන්‍යයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනාදීන් මෛත්‍රිය අන්‍යයන් කෙරෙහි නැවත නැවත පැතිරවීම: තවත් ක්‍ර‍මයකින් කියත හොත් ස්වකීය චිත්තයෙන් අන්‍යයන්ට සෙත් කිරීම මෛත්‍රී භාවනාව නම් වේ. එය නොබෝ කලකින් ම ඵල දැකිය හැකි වන්නා වූ චතුර්ථ ධ්‍යානය තෙක් ගෙන යා හැක්කා වූ භාවනාවෙකි.

අන්‍යයන්ගේ සැපතට දියුණුවට විරුද්ධ ස්වභාවය වූ ඊර්ෂ්‍යාව උත්පත්තියෙන් ම පිහිටා තිබෙන්නා වූ මේ සත්ත්වයෝ ස්වභාවයෙන් ම අනුන්ගේ යහපතට නො කැමැත්තෝ ය. එබැවින් සත්‍ය වූ මෛත්‍රිය ඇති කර ගැනීම පහසු නො වේ. තමන්ගේ අඹුදරු ආදීන්ගේ සැපයට යහපතට කැමති බවක් මිනිසුන් කෙරෙහි ඇත්තේ ය. එය මෛත්‍රිය නොව මෛත්‍රියේ මුහුණුවර ඇති රාගය ය. එය මෛත්‍රියට සතුරු ධර්මයෙකි. වැඩිය යුත්තක් නො ව දුරු කළ යුත්තකි. “අපේ කෙනෙක අපට හොඳ කෙනෙක” යන ඇල්ම වූ හිතවත් බව රාගය ය. අල්පමාත්‍ර‍ ඇල්මකුදු නැති ව අනුන්ගේ යහපත කැමති බව ම සැබෑ මෛත්‍රිය ය. මෛත්‍රිය යි වරදවා ගෙන තමාගේ අඹු දරු ආදීන් පිළිබඳ වූ රාගය දියුණු කරන්නට නො යනු. සත්‍ය වශයෙන් අනුන් සුවපත් කරවීමේ කැමැත්ත නැති ව “සත්ත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා” යි කොතෙක් කීව්ත සිතුවත් එයින් ඵලයක් නො දැකිය හැකිය. මෛත්‍රිය වනාහි වඩන තැනැත්තා ය, මෙත් කරනු ලබන සත්ත්වයෝ ය, යන දෙපක්ෂයට ම ලැබෙන ඵල ඇති භාවනාවෙකි. දෙපක්ෂයට ම ඒ ඵල ලැබෙන්නේ සත්‍ය වූ මෛත්‍රියෙනි. සත්‍ය වූ මෛත්‍රිය වැඩිය යුතු සැටි:

“මාතා යථා නියං පුත්තං

ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ

එවම්පි සබ්බ භූතේසු

මානසං භාවයේ අපරිමාණං”

යනුවෙන් මෛත්‍රී සූත්‍රයෙහි වදාරා තිබේ. “දරුවාගේ යහපත පිණිස තමාගේ ජීවිතය වුව ද පරිත්‍යාග කරන්නා වූ එක් දරුවකු ඇති මවක ඒ දරුවාට ඇති හිතවත් බව බඳු වූ මෛත්‍රිය සකල සත්ත්වයන් කෙරෙහි පැවැත්විය යුතු බව එයින් දක්වන ලදි. එක දරුවකු ඇති මවකගේ ඒ දරුවාට හිතවත් බව ඇත්ත වශයෙන් ම ඇති අවංක හිතවත් බවෙකි. එසේ අවංක වූ මෛත්‍රිය වඩතහොත් එයට ලක් වන සත්ත්වයෝ සුවපත් වෙති. එය තමාගෙන් අන්‍යයන්ට ලැබෙන මෛත්‍රී ඵලය ය. “සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා”යි කීමෙන් හා සිතීමෙන් අන්‍යයන්ට සුවයක් නොවේ නම් එය හිස් වැඩකි. හිස් නොවන්නට නම් ඇත්ත වශයෙන් ම එයින් අන්‍යයන්ට සුවයක් ලැබිය යුතු ම ය. සත්‍ය වශයෙන් මෛත්‍රිය කරත හොත් එයින් අන්‍යයන්ට සුවයක් ලැබේ. බොහෝ සතුන් ලක් කොට කරන මෛත්‍රියෙන් ඒ සත්ත්වයනට ලැබෙන සුවය අත්‍යල්ප බැවින් එය නො දත හැකි ය. එක් පුද්ගලයකුට පමණක් වැඩි වේලාවක් මෙත් වැඩුව හොත් ඒ පුද්ගලයාට ප්‍ර‍කට වන තරමට සුවයක් ලැබේ. හොඳට ම ප්‍ර‍කට ව සුවය ලැබෙන්නේ රෝගාතුරයන්ට ය. යම් කිසි රෝගියකුට වැඩි වේලාවක් මෙත් වැඩුව හොත් එයින් ඔහුට ගුණ ලැබේ. සමහර රෝගියෝ එයින් ම සුව වෙති. එක් සත්ත්වයකුට මෙත් වැඩූ කල්හි එයින් සුවයක් ලැබෙනු දැකීමෙන් බොහෝ සත්ත්වයන්ට මෙත් කිරීමෙන් ද මෛත්‍රී චිත්ත ශක්තියේ සැටියට මඳ වූ සුවයක් නමුත් ලැබෙන බව පිළිගත යුතු ය. එය එසේ ම පිළිගනෙ සත්ත්වයනට යහපතක් කිරීමේ අදහසින් යහපතක් කිරීමක් වශයෙන් මෙත් වැඩීම කළ යුතු ය.

මෙත් වැඩීම සඳහා භාවිතයට සුදුසු වචන බොහෝ ය. ඒවායින් එක් වචනයක් හෝ කීපයක් හෝ බොහෝ ගණනක් හෝ ගෙන තමාගේ කැමැත්තේ සැටියට මෙත් වැඩීම කළ හැකිය. එහෙත් තමාට නො තේරෙන වචන එයට සුදුසු නැත.

වෛර නැත්තෝ වෙත් වා!

දොම්නස් නැත්තෝ වෙත් වා!

නිදුක් වෙත් වා!

සුවපත් වෙත් වා!

යන වචනවලින් මෙහි භාවනා ක්‍ර‍මය දක්වනු ලැබේ. පියදාස නමැත්තා හට මෙත් කරනවා නම් “පියදාස වෛර නැත්තේ වේවා. දොම්නස් නැත්තේ වේවා. නිදුක් වේවා. සුවපත් වේවා” යි මෙත් කරනු. “පියදාස වෛර නැත්තේ වේවා” යන්නෙන් අදහස් කළ යුත්තේ අන්‍යයන් නිසා පියදාසගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද පියදාස ගැන අන්‍යයන්ගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද, පියදාස ගැන අන්‍යයන්ගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද නැති වී, අලුත් වෛර ද ඇති නො වී පියදාස සම්පූර්ණයෙන් වෛරයන් ගෙන් මිදුනෙක් වේවා කියා ය.

පියදාසගේ සිත්හි අන්‍යයන් ගැන වෛර ඇති නම් ඒ අය දකින සිහි වන අවස්ථාවල පියදාසට ඇති වන්නේ දොම්නසකි. නො සතුටකි. එසේ ම පියදාසට වෛර කරන අන්‍යයන් නිසා ද ඔහුට ඇති වන්නේ දොම්නස් ය. “පියදාස දොම්නස් නැත්තේ වේවා” යනුවෙන් අදහස් කළ යුත්තේ තමාගේ හා අන්‍යයන්ගේ වෛර නිසා ඇති විය හැකි වූ ද අන් කරුණු නිසා ඇති විය හැකි වූ ද දොම්නස්වලින් මිදී පියදාස සතුටින් වාසය කරන්නෙක් වේවා කියා ය.

සමූහයකට මෙත් කිරීමේ දී වෛර නැත්තෝ වෙත් වා යනුනේ අදහස් කරනුයේ ඒ සමූහයට අයත් එක් එක් පුද්ගලයකුගේ සිත්හි අන්‍යයන් ගැන ඇති වූ ද ඇති වන්නා වූ ද ඒ එක් එක් අයකු ගැන අන්‍යයන්ගේ සිත්වල ඇති වූ ද ඇති වන්නා වූ ද වෛරවලින් ඒ සෑම දෙනාම මිදෙත් වා කියා ය.

මෙසේ මෙත් පැතිරවීම සඳහා භාවිත කරන වචන වල වගන්තිවල අර්ථය හොඳින් තේරුම් ගෙන සිය බසින් ම භාවනා කළ යුතු ය. මේ මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙන් ම පහසුවෙන් කළ හැකි භාවනාවෙකි. එය කරන කල්හි ද්වේෂයේ හා නො ඉවසීමේ ද වෛරයේ ද ආදීනව හා මෛත්‍රියෙහි අනුසස් ද සලකා පළමු කොට තමාට ම මෛත්‍රිය කරගත යුතු ය. සෑම දෙන ම තමන්ගේ සැපයට තමන්ගේ යහපතට කැමතියන් වන බැවින් පහසුවෙන් තමාට මෛත්‍රිය කරගත හැකිය.

“මම වෛර නැත්තේ වෙම්වා!

දොම්නස් නැත්තේ වෙම් වා!

නිදුක් වෙම්වා!

සුවපත් වෙම්වා!” යි

කීප වාරයක් තමාට ම මෛත්‍රිය කර ගෙන, තමා මෙන් ම අන්‍යයන් ද සැපයට කැමති බව හා දුකට නො කැමති බව ද තමා කෙරෙහි මෙන් ම අන්‍ය සත්ත්වයන් කෙරෙහි ද මෛත්‍රී පතුරුවන්නට පටන් ගත යුතු ය. ධ්‍යාන ලැබීමේ බලාපොරොත්තුව ඇතිව මෙත් වඩන්නවුන් විසින් පටන් ගැන්මේ දී හැමට ම මෙත් වඩන්නට නො ගොස් පහසුවෙන් මෛත්‍රිය කළ හැකලි එක් යහපත් පුද්ගලයකු තෝරා ගෙන ඒ තැනැත්තාට ම මෛත්‍රිය කළ යුතු ය. සාමාන්‍යයෙන් මෙත් වඩන්නවුන් විසින් ද එක්වරට ම සැම සතුන්ට මෙත් කරන්නට නො ගොස් සත්ත්වයන් කොටස් වලට බෙදා ගෙන මතු දැක්වෙන පරිදි මෙත් වැඩිය යුතුය.

භාවනා වාක්‍යය

ප්‍රදේශ වශයෙන් මෙත් වැඩීම

(වෛර නැත්තෝ වෙත්වා යනාදිය යොදාගත යුතු)

දිසා වශයෙන් මෙත් වැඩීම.

වෛර නැත්තෝ වෙත්වා, දොම්නස් නැත්තෝ වෙත්වා, නිදුක් වෙත් වා, සුවපත් වෙත් වා.

තම තමන්ගේ කැමැත්තේ සැටියට මෙසේ නැවත නොයෙක් ක්‍ර‍මවලට සත්ත්වයන් කොටස් කොට මෙත් වැඩිය හැකි ය. කෙසේ කළත් වරදක් නැත. නිදුක් වෙත් වා, නීරෝගී වෙත් වා, සුවපත් වෙත් වා යන වගන්ති තුනෙන් මෙත් වැඩීම ද යහපති.

මෙත් වැඩීමේ අනුසස්

මෙත් වැඩීමේ අනුසස් එකොළොසක් ඇති බව අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේ මෛත්‍රී සූත්‍රයේ දක්වා තිබේ. ඒ මෙසේ ය.

  1. ගෙරවීම් දත් සැපීම් කෙඳිරීම් නන්දෙඩවීම් ඒ මේ අත පෙරළීම් ආදියෙන් තොර ව සැපසේ නින්ද යාම.
  2. කෙඳිරීම් ඈනුම් ඇරීම් ඇඟ මැලි කැඩීම් ආදියෙන් තොර ව පද්මයක් පුබුදු වන්නාක් මෙන් සැපසේ නින්දෙන් පිබිදීම.
  3. සර්පයන්ට ඇතුන්ට සොරුන්ට සතුරන්ට හසුවීම් ආදි නපුරු ස්වප්න නො දැකීම.
  4. ගෙලපැළඳි මුතු හරක් මෙන් පද්මයක් මෙන් සෑම මිනිසුන්ට ම ප්‍රියයකු වීම.
  5. විශාක ස්ථවිරයන් මෙන් දෙවියන්ට ප්‍රියයකු වීම.
  6. දෙවියන් විසින් ආදරයෙන් ආරක්ෂා කරනු ලැබීම.
  7. ගින්නෙන් හා විෂයෙන් ද ආයුධවලින් ද අනතුරු නො ලැබීම.
  8. වහා සිත සමාධියට (එකඟ බවට) පැමිණීම.
  9. මුහුණේ පැහැය බැබළීම.
  10. නුමුළා ව කාලක්‍රියා කරන්නට ලැබීම.
  11. මෛත්‍රී ධ්‍යානය උපදවා ගත් තැනැත්තා හට ඒ ජාතියේ දී ම රහත් නොවිය හැකි නම් මරණින් මතු බඹලොවට යා හැකි වීම යන මේ එකොළොස මෛත්‍රියේ ආනිසංසයෝ ය.

මෙත් වඩන්නා වූ විශාඛ ස්ථවිරයන් වහන්සේ සිතුල් පව්වේ විහාරයක සාර මසක් වැස, පසු දින අන් තැනකට වන්නට සිතා රාත්‍රියේ සැතපුණු කල්හි එහි ගසක වෙසෙන දෙවියෙන් උන්වහන්සේගෙන් වෙන්වීම ගැන ශෝකයෙන් විහාරයේ පඩි පෙළ උඩ සිට හැඬුවේ ය.

මෙත් වඩමින් වනයේ විසූ සාම කුමාරයාණන් හා ඒ වනයෙහි විසූ සිංහ ව්‍යාඝ්‍රාදි චණ්ඩ මෘගයෝ ද මිතුරු ව වාසය කළෝය.

සිරිමා නමැති ගණිකාව විසින් හිස මත හෙලූ උණු තෙලින් මෙත් සිතින් විසූ උත්තරා උපාසිකාවගේ හිස නො දැවුණේ ය.

උදේන රජු විසින් සාමාවතී දේවිය ප්‍ර‍ධාන කොට ඇති පන්සියයක් ස්ත්‍රීන් පෙළට සිටුවා එක ඊ පහරින් ම මරණු පිණිස විද යැවූ ඊය ඔවුන්ගේ මෛත්‍රී බලයෙන් පොල් කොළයක් සේ ම බිම වැටුණේ ය.

අප මහා බෝසතාණන් වහන්සේ එක් ජාතියක දී සත් වසක් මෙත් වඩා ඒ පිනෙන් සත් කපක් මිනිස් ලොවට නො පැමිණ බඹලොව විසූහ. සතිස් වරෙක සක් දෙව් රජ වූහ. වාර සියගණනක සක්විති රජ වූහ. බොහෝ ජාතිවල දඹදිව අග රජ වූහ.

“ස්‍යෙථාපි භික්ඛවේ රත්තියා පච්චූස සමයං ඔසධි තාරකා භාසතො ච තපතෙ ච විරොචති ච, එවමෙව ඛො භික්ඛයෙනි කානිචි ඔපයිකානි පඤ්ඤකිරිය වත්ථූනි සබ්බානි තානි මෙත්තාය චෙතො විමුත්තියා කලං නාග්ඝති සෝළසිං. මෙත්තායෙව තානි චෙතොවිමුත්ති භාසතෙ ච තපතෙ ච විරොචති ච”

මහ‍ණෙනි, රාත්‍රියේ අවසාන කාලය වූ බලවත් උදෑසන කාලයේ ඕෂධී තාරකාව යම් සේ ආලෝකවත් ව බබළා ද, මහණෙනි; එ පරිද්දෙන් (මෙත්තා චේතෝ විමුක්තිය බබළා) භවභෝග සම්පත් ගෙන දෙන්නා වූ යම් කිසි පුණ්‍ය ක්‍රියා වස්තූහු වෙත් ද ඒ සියල්ලෝ ම මෙත්තා චේතෝ විමුත්තියේ සොළොස්වන කලාව පමණට නො අගනාහ. මේ චේතෝ විමුත්තිය ම ඒවා ඉක්මවා ආලෝකවත් ව බබළාය යනු එහි තේරුම යි.

තව ද මෙත් වඩන භික්ෂුවට දෙන්නා වූ දානය දායකයාට විශේෂයෙන් ම මහත්ඵල වන බව ද, මෙත් වඩන භික්ෂුවට සිව් පසයෙන් උවටැන් කරන දායකයා මහා සාගරයේ ජලස්කන්ධය සේ මහත් වූ පුණ්‍යස්කන්ධයක් ලබන බව ද මෙත් වඩන භික්ෂුව, සිව්පසය සපයන දායකයන්ට ණය කාරයකු නො වී රහතන් වහන්සේ කෙනකු මෙන් ස්වාමිත්වයෙන් සිව්පසය වළඳන බව ද,

“අච්ඡරා සඞ්ඝාත මත්තම්පි චේ භික්ඛවෙ භික්ඛු මෙත්තං චිත්තං ආසෙවති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො විහරති සත්ථු සාසනකරො ඔවාද පටිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති කො පන වාදො යෙ නං බහුලීකරොන්ති”

යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍කාශිත ය. “මහණෙනි, යම් මහණෙක් අසුරු සැණක් පමණ කාලයෙහි මුත් මෛත්‍රී චිත්තය සේවනය කෙරේ ද, මහණෙනි, ඒ මහණ ධ්‍යානයෙන් නො හිස් ව වාසය කරන්නේ ය යි ද, ශාස්තෘන් වහන්සේගේ අවවාදය පිළිපදින්නේ යයි ද, රටුන් දෙන ආහාර නොසිස් කොට වළඳන්නේ යයි ද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ මෛත්‍රිය බොහෝ කොට කෙරෙත් නම් ඔවුන් ගැන කියනු ම කවරේ ද? යනු එහි තේරුම යි.

“ඒකම්පි චෙ පාණ මදුට්ඨචිත්තො

මෙත්තායති කුසලී තෙන හොති,

සබ්බේ ච පාණෙ මනසානුකම්පි

පහුතමයයෝ පකරොති පුඤ්ඤං

ඉදින් අදුෂ්ට චිත්තයෙන් එක් සත්ත්වයකු හට ද මෙත් කෙරේ නම් එයින් පින් ඇත්තේ වේ. සකල සත්ත්වයන්ට සිතින් අනුකම්පා කරන්නා වූ (මෙත් කරන්නා වූ) ආර්‍ය්‍ය තෙමේ බොහෝ පින් කෙරේ ය යනු එහි තේරුමයි.

පිළිකුල් භාවනාව

පිළිකුල් භාවනාව යනු කෙස් ලොම් ආදි කොටස් පිළිබඳ භාවනාව ය. එයට අශුභ භාවනාවය, කායගතාසති සතිපට්ඨාන භාවනාවය, කොට්ඨාස භාවනාවය යන නම් ද වෙයි. එය වනාහි බුද්ධෝත්පාද කාලවල පමණක් ඇත්තා වූ අන්‍ය තීර්ථකයන්ට අවිෂය වූ බෞද්ධයන්ගේ ම භාවනාවෙකි. තථාගතයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් වර්ණනා කළා වූ ද භාවනාවෙකි. මේ බුදු සස්නෙහි ඒ භාවනාව කොට රහත් ව නිවන් දුටුවෝ ඉතා බොහෝ වූහ. බුද්ධ කාලයේ පටන් අද දක්වා බොහෝ බුද්ධ ශ්‍රාවකයන් පුරුදු කළ භාවනාව ද එය ය. බඹයක් පමණ වූ මේ මිනිස් සිරුර කොටස් දෙතිසකින් යුක්ත ය.

  1. කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය,
  2. මස් ය, නහර ය, ඇට ය, ඇටමිදුලු ය, වකුගඩුව ය,
  3. හදවත ය, අක්මාව ය, දළබුව ය, ඇලදිව ය, පපු මසය.
  4. අතුණු ය, අතුණුබහන් ය, ආහාර ය, මල ය, මොලය ය.
  5. පිත ය, සෙම ය, සැරව ය, ලේ ය, ඩහදිය ය, මේද තෙල ය.
  6. කඳුළු ය, වුරුණු තෙල ය, කෙළ ය, සොටු ය, සඳ මිදුලු ය, මුත්‍ර‍ ය.

යන මේ දෙතිස ශරීරයේ කොටස් ය. මේ භාවනාව කරන කල්හි කොටස්වල පැහැය ය, සටහන ය, පිහිටි දිශාව ය, පිහිටි ස්ථානය ය, පර්‍ය්‍යන්ත පරිච්ඡේදය ය යන කරුණු පස හා වර්ණය ය, සටහනය, ගන්ධය ය, නිඃශ්‍රියය, අවකාශය ය යන මොවුන්ගේ වශයෙන් පිළිකුල් බව ද සජ්ඣායනා කරමින් භාවනා කළ යුතු ය. සජ්ඣායනා කිරීම නම් ඇසෙන සේ කීම ය. “ඉමස්මිඤ්හි පටික්කූලමනසිකාර කම්මට්ඨානෙ යොපි තෙපිටකො හොති තෙනාපි මනසිකාර කාලෙ පඨමං වාචාය සජ්ඣායො කාතබ්බො” යි මේ ප්‍ර‍තිකූල මනස්කාර කර්මස්ථානය ත්‍රිපිටකධරයකු විසින් වුව ද සජ්ඣායනා කරමින් ම භාවනා කළ යුතු බව දක්වා තිබේ. එබැවින් සිතින් මෙනෙහි කිරීම ම ප්‍ර‍මාණ වෙතැයි වරදවා නො ගත යුතු ය. කොටස් දෙතිසක් පිළිබඳ වූ මේ භාවනා ක්‍ර‍මය ඉතා දීර්ඝ බැවින් එකවර උගෙන එකට ම භාවනා කිරීම දුෂ්කර බැවින් කොටස් දෙතිස වර්ග සයකට බෙදා භාවනා කිරීමට නියමිත ය. මෙහි කොටස් දෙතිස දැක්වූ තැන අංක යොදා ඇත්තේ ඒවා වර්ග කරගත යුතු ආකාරයට ය. එහි කොටස් පස බැගින් ඇති වර්ග සතරක් හා කොටස් සය බැගින් ඇති වර්ග දෙකක් ද ඇත්තේ ය.

භාවනා කිරීමේ දී පළමු වන වර්ගය අනුලෝම වශයෙන් (මුල සිට අග දක්වා කියන ක්‍ර‍මයෙන්) පස් දිනක් භාවනා කළ යුතු ය. ප්‍ර‍තිලෝම වශයෙන් (අග පටන් මුලට කියන ක්‍ර‍මයෙන්) පස් දිනක් භාවනා කළ යුතු ය. අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් පස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති “මස්” ආදි කොට ඇති දෙවන වර්ගය උගෙන කියන ලද පරිදි එක් එක් ආකාරයෙන් පස් දින බැගින් පසළොස් දිනක් භාවනා කළ යුතුය.

ඒ වර්ග දෙක භාවනා කිරීමට මසක් ගත වේ. දෙවන මාසයේ දී ඒ වර්ග දෙක ම එක්කොට එක් එක් ආකාරයෙන් පස් දින බැගින් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති “හදවත” ආදි කොට ඇති තුන්වන වර්ගය උගෙන කියන පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

තුන් වන මාසයේ දී පළමු භාවනා කළ වර්ග තුන ම එක්කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළයුතු ය.

ඉක්බිති “අතුණු” ආදි කොට ඇති සතර වන වර්ගය ගෙන තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

සතර වන මාසයේ දී පසු කළ වර්ග සතර ම එක් කොට කියන ලද පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති “පිත” ආදි කොට ඇති පස් වන වර්ගය ගෙන තුන් ආකාරයෙන් දින පසළොසක් භාවනා කළ යුතු ය.

පස්වන මාසයේ දී පසු කළ වර්ග පස ම එක් කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති සවන කොටස උගෙන කියන ලද පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

සවන මාසයේ දී කොටස් දෙතිස ම එක් කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

භාවනාව සම්පූර්ණ කිරීමට පස්මස් පසළොස් දිනක් ගත වන්නේ ය. මේ කාලයේ දී භාවනා කරන වේලාව දිනකට පැයකට වඩා අඩු නො විය යුතු ය. මුලින් පටන් ගත්තා ම නැවතීමක් නැති ව අග දක්වා ද අගින් පටන් ගත්තා ම පැකිළීමක් නැතිව මුල දක්වා ද මෙනෙහි කළ හැකි වේ නම් භාවනාව ප්‍ර‍ගුණ වූ සැටියට සැලකිය යුතුය. ඉන්පසු සජ්ඣායනාව හැර මෙනෙහි කිරීම පමණක් ඉදිරියට කරගෙන යා යුතු ය. කොටස් හොඳින් නො වැටහේ නම් කියන ලද පරිදි නැවතත් පස් මස් පසළොස් දිනක් සජ්ඣායනා කළ යුතු ය. ශරීරය දිශා වශයෙන් බෙදන කල්හි නාභිය (පෙකනිය) මධ්‍යස්ථානය වශයෙන් ගනු ලැබේ. භාවනා වාක්‍යයේ දී හෙට්ඨිම දිශාවය (යට දිගය) යි කියනුයේ නාභියෙන් යට කොටසය. උපරිම දිශාවය (උඩ දිගය) යි කියනුයේ නාභියෙන් උඩ කොටසට ය.

භාවනා වාක්‍යය

(මෙය පාඩම් කරගෙන භාවනා කරනු)

පළමු වන පසළොස් දින භාවනා ක්‍ර‍මය

  1. මේ ශරීරයෙහි කේශයෝ කළු වූ වට වූ දික් වූ මතු දිශාවෙහි පිහිටියා වූ හිස් කබල වසා සිටින සමෙහි පිහිටියා වූ යටින් වියැට අගක් පමණ සම තුළට වැද සිටින මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන්ගෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
    ඒ කේශයෝ පැහැයෙන් ද සටහනින් ද ගඳින් ද නිඃශ්‍රයෙන් ද අවකාශයෙන් ද පිළිකුල් යහ. (මතු දක්වන කොටස්වලට ද මෙසේ පස් ආකාරයෙන් පිළිකුල් බව යොදා සජ්ඣායනා කරනු).
  2. මේ ශරීරයේ ලෝමයෝ මදක් කළු වූ කුඩා මුල් බඳු සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම පිහිටියා වූ ශරීරය වසා සිටිනා සමෙහි පිහිටියා වූ යටින් සමට වැදී තිබෙන මුල්වලින් හා උඩින් අහසින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  3. මේ ශරීරයෙහි “නිය” සුදු වූ මාලු කොට බඳු සටහන් ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හටගත්තා වූ, ඇඟිලි අග පිහිටියා වූ, තුන් පසකින් ඇඟිලි අග මසින් හා යටින් ඇඟිලි අග මසින් හා උඩින් ආකාශයෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයකි.
  4. මේ ශරීරයේ “දත්” සුදු වූ කලගෙඩි ගැටියක සිට වූ ලබු ඇට පෙළක් වැනි වූ උඩු දිග පිහිටියා වූ හකු ඇට දෙක්හි පිහිටියා වූ යටින් හකු ඇටයේ පිහිටි මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන් ගෙන් ම ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  5. මේ ශරීරයේ “සම” කළු සුදු ඈ නොයෙක් පැහැ ඇත්තා වූ, රූපයක් වසා සිටිනා සැට්ටයක් බඳු වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ශරීරය වසා සිටියා වූ යටින් ශරීරයෙන් හා උඩින් ආකාශයෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

කෙස්වලින් පටන් ගෙන සම දක්වා පිළිවෙලින් සජ්ඣායනා කිරීම මෙනෙහි කිරීම අනුලෝම ක්‍ර‍මය ය. සමින් පටන් ගෙන කෙස් දක්වා ආපසු සජ්ඣායනා කිරීම ප්‍ර‍තිලෝම ක්‍ර‍මය ය. මුල පටන් අගටත් අග පටන් මුලටත් සජ්ඣායනා කිරීම අනුලෝම ප්‍ර‍තිලෝම ක්‍ර‍මය ය.

දෙවන පසළොස් දින භාවනා ක්‍ර‍මය

  1. මේ ශරීරයේ “මස්” රත් පැහැ ඇත්තා වූ, දි බව වට බව පැතළි බව ආදි නොයෙක් සටහන් ඇත්තා වූ, දෙදිශාවෙහි ම ඇත්තා වූ තුන් සියයක් පමණ ඇටවල පිහිටියා වූ යටින් ඇටවලින් ද උඩින් සමෙන් ද සරසින් මස් පිඩුවලින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  2. මේ ශරීරයේ “නහර” සුදු වූ ගසක් වෙළා සිටින කොළ සැලුණු වැල් සමූහයක් බඳු වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ඇට බැඳගෙන පිහිටියා වූ ඇටවලින් හා මස්වලින් වෙන් වූ, කුණප කොට්ඨාසයෙකි.
  3. මේ ශරීරයේ “ඇට” සුදු වූ දික් බව වට බව පැතළි බව ආදි නොයෙක් සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ මුළු සිරුරෙහි ම එකිනෙක මත පිහිටියා වූ යටින් ඇට මිදුළුවලින් හා උඩින් හා සරසින් මස්වලින් හා ඔවුනොවුන්ගේ අක් මුල් වලින් වෙන්වූ කුණප කොට්ඨාසයෙකි.
  4. මේ ශරීරයේ “ඇට මිදුළු” සුදු වූ, තම්බා හුණ පුරුක් බට පුරුක්වල ලූ වේබඩ බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවෙහි ම හටගත්තා වූ ඇට තුළ පිහිටියා වූ ඇටවල ඇතුළු පසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  5. මේ ශරීරයේ “වකුගඩුව” මඳක් රත් පැහැ ඇත්තා වූ එක නටුවෙහි හටගත් අඹ ගෙඩි දෙකක් බඳු වූ මතු දිශාවෙහි හට ගත්තා වූ ගලවළුයෙන් නික්ම ගොස් දෙකට බෙදී ගිය නහර දෙකක පිහිටියා වූ එහි ම කෙළවරින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

තුන්වන පසළොස් දිනයේ කියන ලද වර්ග දෙක එක් කොට අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් පස් දින බැගින් භාවනා කරනු.

සතරවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය

  1. මේ ශරීරයේ “හදවත” මඳක් රත් පැහැ ඇත්තා වූ යටිකුරු කොට තැබූ නෙළුම් කැකුළක් බඳු සටහන් ඇත්තා වූ මතු දිශාවේ හටගත්තා වූ සිරුර තුළ දෙතන අතර පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  2. මේ ශරීරයේ “අක්මාව” මඳක් රත් පැහැ ඇත්තා වූ, කොබෝලීල පතකට බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවේ පිහිටියා වූ දෙතන අතර දකුණු පස පිහිටියා වූ එහි ම කෙළවරින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  3. මේ ශරීරයේ “දළබුව” සුදු පැහැ ඇත්තා වූ, වස්ත්‍ර‍යක් බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හට ගත්තා වූ, හදවත හා අක්මාව වසා සිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  4. මේ ශරීරයේ “බඩදිව” නිල් පැහැ ඇත්තා වූ, වස්සකුගේ දිව බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ, හදවතට වම් පසින් පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  5. මේ ශරීරයේ “පපුමස” රතු වූ, නො සම කොට කඩන ලද රොටි කැබලි කීපයක් බඳු සටහන් ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ පපුව තුළ එල්ලී තිබෙන්නා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

පෙණහල්ල යනු ද මෙයට නමෙකි. ඇතුළත පිහිටි කොටස්වල සැටි ඡායාරූපාදිය බලා තේරුම් ගත යුතු ය. පස්වන පසළොස් දිනයේ දී කෙස්වල පටන් බඩදිව තෙක් ඇති කොටස් පසළොස එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු.

සවන පසළොස් දින භාවනා ක්‍ර‍මය

  1. මේ ශරීරයේ “අතුනු” සුදු වූ ලේ ඔරුවක දරණ ගසා ලූ හිස සුන් සර්ප ශරීරයක් බඳු වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ ගළවළුයෙහි පටන් ගුදය දක්වා ශරීරය තුළ පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  2. මේ ශරීරයේ “අතුනුබහන්” සුදු වූ හෙල් මැලි මුල් බඳු සටහන ඇත්තා වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ නැමුණු තැන්වලින් බඩවැල බැඳ ගෙන එය අතර පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  3. මේ ශරීරයේ “නො පැසුණු ආහාරය” වැළඳූ ආහාරයේ පැහැය ම ඇත්තා වූ පෙරහනක ලිහිල් කොට බැඳි සහල් බඳු වූ මතු දිශාවෙහි ඇත්තා වූ උදරයෙහි පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  4. මේ ශරීරයේ “මල” පඬු පැහැ ඇත්තා වූ හුණ පුරුකක ලූ පඬුවන් මැටි බඳු වූ යටි දිග හටගත්තා වූ පක්වාශයෙහි පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  5. මේ ශරීරයේ “මොළය” සුදු වූ හිස් කබලට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හට ගත්තා වූ, හිස් කබල තුළ පිහිටියා වූ එහි පර්‍ය්‍යන්තයෙන් හා හිස් කබලේ යටිපසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

මෙය පසළොස් දිනක් භාවනා කොට සත්වන පසළොස් දිනයෙහි කෙස්හි පටන් මොළය දක්වා ඇති කොටස් සියල්ල ම එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු.

අටවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය

  1. මේ ශරීරයේ “බද්ධපිත්තය” (කෝෂයෙහි පිහිටි පිත) බොල් මී තෙල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයට බඳු සටහන් ඇත්තා වූ මතු දිශාවෙහි හට ගත්තා වූ වැටකොළු කරලක් බඳු වූ පිත් කෝෂයෙහි පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි. “අබද්ධ පිත්තය” (ශරීරයේ පැතිර සිටිනා පිත) මැළවුණු රණවරා මල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයන්ට බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ සකල ශරීරයේ පැතිර පවත්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  2. මේ ශරීරයේ “සෙම” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවේ හට ගත්තා වූ උදර පටලයේ පිහිියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  3. මේ ශරීරයේ “සැරව” මඳක් සුදු වූ පිහිටි තැනට බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවේ ම හටගත්තා වූ ගෙඩි වණවල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  4. මේ ශරීරයේ “ලේ” රතු වූ පිහිටි තැනට බඳු සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ගමන් කරමින් පවත්නා වූ එහි ම කෙළවරවලින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  5. මේ ශරීරයේ “ඩහදිය” තෙල් පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හටගත්තා වූ රෝම කූපයන් පුරා සිටින්නා වූ එහි ම කෙළවරවලින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  6. මේ ශරීරයේ “මේද තෙල” කහ පැහැ ඇත්තා වූ වස්ත්‍ර‍යකට බඳු සටහන ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හට ගත්තා වූ, සම් මස් දෙක අතර පිහිටියා වූ, උඩින් සමින් හා යටින් මසින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

නව වන පසළොස් දිනයේ දී කී සියල්ල එක් කොට තුන් ආකාරයෙන් භාවනා කරනු.

දසවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය

  1. මේ ශරීරයේ “කඳුළු” තල තෙල් පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, මතු දිශායෙහි හටගත්තා වූ ඇස්වල පිරී සිටින්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  2. මේ ශරීරයේ “වුරුණු තෙල” පොල් තෙල් පැහැ ඇත්තා වූ දිය මතුයෙහි කැරකෙන තෙල් බින්දු බඳු සටහන ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ අතුල් පතුල් පිටි අලු පිටිපතුල් නළල නැහැ උරහිස් යන තැන්වල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  3. මේ ශරීරයේ “කෙළ” පෙන පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ, මුව තුළ පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  4. මේ ශරීරයේ “සොටු” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හටගත්තා වූ නාස් පුඩු පුරා සිටින්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  5. මේ ශරීරයේ “සඳමිඳුළු” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ දෙ දිශාවෙහි ම හටගත්තා වූ ඇට සන්ධිවල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
  6. මේ ශරීරයේ “මුත්‍ර” තල තෙල් පැහැ ඇත්තා වූ මුව යටිකුරු කොට තැබූ කුඩා කළයක දිය බඳු සටහන ඇත්තා වූ යටි දිශාවෙහි හටගත්තා වූ වස්ති කෝෂයෙහි පිහිටියා වූ වස්ති කෝෂයේ යටි පසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

එකොළොස් වන පසළොස් දිනයේ දී සියල්ල එක් කොට තුන් ආකාරයෙන් භාවනා කරන කියන ලද පරිදි පස් මස් පසළොස්දිනක් භාවනාව සජ්ඣායනා කළ කල්හි එය ප්‍ර‍ගුණ වී නම්, කොටස් මනාකොට වැටහෙන්නට පටන් ගත්තේ නම් සජ්ඣායනාව නවත්වා කොටස් මෙනෙහි කරන්නට පටන් ගත යුතු ය. මෙනෙහි කිරීම පිළිබඳ කාල නියමයක් නැත. භාවනාවෙන් යම්කිසි ඵලයක් ලැබෙන තුරු ම නො නවත්වා එය කර ගෙන යා යුතු ය. කොටස් දෙතිස ම හොඳින් නො වැටහේ නම් නො වැටහෙන කොටස් හැර දමා වැටහෙන කොටස්වල මනස්කාරය පැවැත්විය යුතු ය. ධ්‍යාන ලැබීම මේ භාවනාවේ අවසානය ය. අනලස ව ක්‍ර‍මානුකූලව භාවනාව කරගෙන යන කල්හි හේතු සම්පත් ඇතියවුන්ට ධ්‍යාන ලැබේ. හේතු සම්පත් නැතියවුන්ට දැන් කරන භාවනාව ස්වර්ග සම්පත් ප්‍ර‍තිලාභයට හා අනාගත භවයන්හි ධ්‍යාන ලැබීමට ද හේතු වන්නේ ය.

විදර්ශනා භාවනාව

ලෝකෝත්තර මාර්ග ඵලයන්ට පැමිණ කෙලෙසුන් නසා නිවන් දැකිය හැකි වන භාවනාව විදර්ශනා භාවනාව ය. ශමථ භාවනාවෙන් සිදු කළ හැකි උසස් දෙය ධ්‍යාන ලබා මරණින් මතු බඹලොව ඉපදීම ය. ශමථ භාවනාවෙන් සමාධිය දියුණු කර ගත කල්හි විදසුන් වඩා මඟ පළ ලැබීම පහසු ය. සමාධිය නැති තැනැත්තාට එය අපහසු ය. එබැවින් බොහෝ යෝගීහු පළමු කොට ශමථ භාවනාවක් කොට සමාධිය හා ශ්‍ර‍ද්ධාදිය දියුණු තියුණු කර ගෙන පසුව විදර්ශනා කෙරෙති. ප්‍ර‍ථමයෙන් ශමථ භාවනා කොට විදසුන් වඩා නිවන් දුටුවෝ බොහෝ වූහ. විදර්ශනා භාවනාව යනු නාම රූපයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ හා අනිත්‍යාදි ලක්ෂණ තුන ද දක්නා ඥානය දියුණු කිරීම ය. එය දියුණු කරනුයේ නැවත නැවත අනිත්‍යාදි ලක්ෂණයන් සිහි කිරීමෙනි. ඒ සිහි කිරීමට භාවනා කිරීම යි ද කියනු ලැබේ.

අනිත්‍ය ලක්ෂණය, දුඃඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යි සංස්කාරයන්ගේ ලක්ෂණ තුනෙකි. අනිත්‍ය ලක්ෂණය යනු සෑම කල්හි ම නො පවත්නා බව ය. කලක් පැවැතී නැසෙන බව ය. දුඃඛ ලක්ෂණය යනු පීඩා කරන්නා වූ රිදවන්නා වූ ස්වභාවය ය. අනාත්ම ලක්ෂණය යනු ආත්ම නොවන බවය, හෙවත් කිසිවකුගේ කැමැත්ත අනුව නො පවත්නා බව ය.

පිළිකුල් භාවනාව පහසුවෙන් ම විදර්ශනා මාර්ගයට හරවා ගත හැකි භාවනාවෙකි. පිළිකුල් භාවනාවේ මාර්ගයෙන් නිවන් දකිනු කැමති පින්වතා විසින් ඉහත කී පරිදි පස් මස් පසළොස් දිනක් පිළිකුල් භාවනාව සජ්ඣායනා කර එය ප්‍ර‍ගුණ කර ගෙන ඒ ශාරීරික කොට්ඨාසයන්ගේ අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය මෙනෙහි කරන්නට පටන් ගත යුතු ය.

හිසකේ සෑම කල්හි ම නො නැසී පවත්නා දෙයක් නොව කාලයක දී වෙනසට පැමිණෙන්නා වූ ද තවත් කලෙක දී සම්පූර්ණයෙන් නැති වන්නා වූ ද දෙයකි. එය එහි අනිත්‍ය ලක්ෂණය යි. වරින් වර කැපීම, තෙල් ගෑම, පීරීම, සෝදා පිරිසිදු කිරීම, උකුණන් නැති කර ගැනීම යන මේවා හිසකේ ඇත්තහුට එයින් වන්නා වූ දුක් ය. පැසීම ගැලවී යෑම යන මේවා ද හිසකේ නිසා ඇතිවන දුක් ය. ඒ දුක් නිතර නිතර කෙස් හිමියාට ඇති කර දෙන බව හිසකෙස්වල දුඃඛ ලක්ෂණය ය. කොට කර කැපූ හිසකේ දික් නො වන ලෙසට ද, කළු හිසකේ කිසිවකුට නො පැවැත්විය හැකි ය. ස්වභාව ධර්මයේ සැටියට මිස කිසිවකු ගේ අදහසේ සැටියට හිසකෙස්වල නො පවත්නා ස්වභාවය හා දැනුමක් නැති වුව ද ඒවායේ අනාත්ම ලක්ෂණය ය. එසේ සියලු කොටස්වල ම අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය සලකමින් මෙසේ භාවනා කරනු.

භාවනා වාක්‍යය

මේ ශරීරයේ කේශයෝ විකාරයට පැමිණෙන බැවින් ද නැසෙන බැවින් ද අනිත්‍යයෝ ය. කෙස් හිමියාට කෙස්වලට ඇලුම් කරන්නාහට පීඩා කරන බැවින් දුඃඛයෝය. කිසිවකුගේ වශයෙහි නො පවත්නා බැවින් අනාත්මයෝ ය.

මේ ශරීරයේ ලෝමයේ නැසෙන බැවින් අනිත්‍යයෝ ය. හිමියාට පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකුගේ වශයෙහි නො පවත්නා බැවින් අනාත්මයෝ ය.

නිය, දත්, සම් ආදි ඉතිරි කොටස් ගැන එසේ ම වාක්‍ය යොදා ගෙන භාවනා කරනු. කොටස් සමූහය වූ සකල ශරීරය ගැන ද භාවනා කරනු. ශරීරය ගැන කරන භාවනාව රූප භාවනාව ය. ශරීරය වූ රූප සමූහයෝ හෙවත් රූපස්කන්ධයා ගේ ලක්ෂණත්‍ර‍ය වැටහුණු පසු ශරීරය හසුරුවමින් ශරීරය ඇසුරු කර ගෙන පවත්නා වූ වේදනා සංඥා සංස්කාර විඥාන යන නාමස්කන්ධ සතර ද සොයා ගෙන තේරුම් ගෙන ඒවායේ අනිත්‍යාදි ලක්ෂණ පිළිබඳව ද,

මේ ශරීරය ඇසුරු කර පවත්නා වූ නාමයෝ බිඳි බිඳී යන බැවින් නොපවත්නා බැවින් අනිත්‍යයෝ ය. පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකු ගේ වශයෙහි නො පවත්නා බැවින් අනාත්මයෝ යයි භාවනා කරනු. නාම රූප දෙක ම එක් කොට ගෙන සකල සංස්කාරයෝ ම අනිත්‍යයෝ ය. දුඃඛයෝ ය. අනාත්මයෝ ය යි ද භාවනා කරනු.

මෙසේ භාවනා කිරීමෙන් වන්නේ ද සාමාන්‍යයෙන් විදර්ශනා භාවනාව සසරට පුරුදුවීම පමණකි. කිසිම තේරුමක් නැති ව යම් කිසි වගන්තියක් පාඩම් කරගෙන භාවනා කරමි යි කියන්නාහට ලැබෙන ඵලයක් නැත. (විදර්ශනා භාවනාව මනා කොට කරනු කැමැත්තෝ මෙම කතෘන් වහන්සේගේ ම පොතක් වූ “විදර්ශනා භාවනා ක්‍ර‍මය” බලා භාවනා කරත්වා.)

මරණානුස්මෘති භාවනාව

උදා වූ තැන පටන් මොහොතකුදු නො නැවතී අස්තය කරා යන හිරු මෙන් සත්ත්වයෝ ද උපන් තැන පටන් නැවතීමක් නැති ව මරණය කරා ගමන් කරන්නෝ ය. නො මැරෙන ජීවිතයක් ඇති සත්ත්වයේක නැත. කවර අවස්ථාවක දී වුව ද ජීවිතය නැති විය හැකි ය. එය ඉතා දුබල දෙයකි. දුබලවූ නැසෙන ස්වභාවය ඇති ජීවිතය පිට්ටනියක් මැද ආවරණයක් නැති ව දැල්වෙන පහනක් බඳු ය. උදයේ තණ අග එල්ලෙන පිනි බිඳක් වැනි ය. දියෙහි ඇඳි ඉරක් වැනි ය. දිය බුබුළක් වැනි ය. පෙණ පිඬක් වැනි ය. මැටි බඳුනක් බඳු ය. පිනිබිඳු ආදිය බිඳීමෙන් කෙළවර වන්නාක් මෙන් ජීවිතය ද ඒකාන්තයෙන් මරණයෙන් කෙළවර වන්නේ ය. සත්ත්වයනට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ මරණය නැවත නැවත මෙනෙහි කිරීම මරණානුස්මෘති භාවනාව ය. මතු දැක්වෙන වාක්‍යය පාඩම් කර ගෙන භාවනා කරනු.

භාවනා වාක්‍යය

ජීවිතය අස්ථිර ය. මරණය නියත ය. සත්ත්වයන්ගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මම ද මැරෙන්නෙමි. මාගේ ජීවිතය ද මරණින් කෙළවර වන්නේ ය. සත්ත්වයෝ මරණය අරගෙන ම උපදින්නෝ ය. මරණය අරගෙන උපන් සත්ත්වයෝ උදා වූ තැන පටන් මොහොතකුදු නො නැවතී අස්තය කරා යන හිරු මෙන් උපන් තැන පටන් නො නැවතී මරණය කරා ගමන් කරති. මම ද මරණය ගෙන උපන්නෙමි. මම ද දිවා රෑ දෙක්හි නො නැවතී මරණය කරා ගමන් කරමි. මාගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මහා සම්මතාදි මහා සම්පත් ඇති රජ දරුවෝ ජෝතිය ජටිලාදි මහ පිනැති සිටුවරු ද වාසුදේව බලදේවාදි මහ බලැතියෝ ද මහා සෘද්ධිමත්හු ද මහා නුවණැතියෝ ද මරණ ප්‍රාප්ත වූහ. මා වැනියකුට කෙසේ ඉන් ගැලවිය හැකි ද? නො හැකි ම ය. මම ද ඒකාන්තයෙන් මරණයට පැමිණෙන්නෙමි.

මේ භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සිත පවට නො නැමේ. පිනට නැමේ. ඔහුට තෘෂ්ණාව ද අඩු වේ. මරණ බය ද අඩු වේ. බොහෝ සත්ත්වයෝ තමන් මැරෙන බව නො සිතා අජරාමර වූවන් සේ සිට මරණ කාලය පැමිණි කල්හි බිය පත් වී සිහි මුළාවෙන් කළුරිය කොට අපායෙහි උපදිති. මරණානුස්මෘති භාවනාව පුරුදු කළ තැනැත්තාට මරණ කාලයේ දී එය ගැන සෙස්සන්ට මෙන් බියක් හට නො ගන්නා බැවින් සිහි නුවණින් යුක්ත ව කාලක්‍රියා කොට ස්වර්ගයට යා හැකි වේ. ඥාතීන් ගේ මරණ ගැන ඇතමුන් බොහෝ හඬමින් බොහෝ කල් දුක් වන්නේ ද මරණය සත්ත්වයාට හිමි දෙයක්බව කලින් නො මෙනෙහි කිරීම නිසා ය. මරණානුස්මෘති භාවනාව පුරුදු කළ පින්වතුන්ට එබඳු අවස්ථාවලදී ද අන්‍යයන් මෙන් දුක් නොවී සැනසී විසිය හැකි ය. මරණය මෙනෙහි කරන්නා වූ තැනැත්තාට පඤ්චස්කන්ධයාගේ අනිත්‍ය ලක්ෂණය පහසුවෙන් වටහා ගත හැකි ය. තදනුසාරයෙන් දුඃඛ ලක්ෂණය හා අනාත්ම ක්ෂණය ද වටහා ගත හැකි ය. එය සතර මඟ සතර ඵලයන්ට පැමිණ නිවන් දැකීමට ම කරුණු වන්නේ ය.

මෙතෙකින් භාවනා විස්තරය නිමියේ ය.

4. අපචායන පුණ්‍ය ක්‍රියාව

ගරු කළ යුතු පුද්ගලයන්ට හා වස්තූන්ට ගෞරව කිරීම අපචායනය ය. වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයෝ ගරු කළ යුත්තෝ ය. ධාතු මහබෝ පෙති පිළිම ආදිය ගරු කළ යුතු වස්තූහු ය. වයසින් අඩු තැනැත්තා විසින් වයසින් වැඩි තැනැත්තන්ට ගරු කළ යුතු ය. වයස, ගුණය යන දෙකින් ගුණය ප්‍රධාන බැවින් වයසින් වැඩි තැනැත්තා විසින් ද ගුණවතාට ගරු කළ යුතු ය. මෙහි ගුණය යයි කියනුයේ කුල ධන තනතුරු ආදිය නො ව උපකාර හා ශීලය ය. බොහෝ උපකාර කළ බැවින් දරුවන් විසින් මා පියන්ට ගරු කළ යුතු ය. සිල්වතුන්ට ශීල ගුණය නිසා ගරු කළ යුතු ය. ශීල ගුණය සියල්ලට ම උසස් බැවින් පැවිදි වූ දරුවාට ගිහි වූ මා පියන් විසින් ද ගරු කළ යුතු ය.

ගරු කිරීම වනාහි කයින් ගරු කිරීම ය, වචනයෙන් ගරු කිරීම ය, සිතින් ගරු කිරීම ය යි තුන් ආකාර වේ. ඒ ඒ මනුෂ්‍ය ජාතීන්ගේ චාරිත්‍ර‍වල සැටියට හා ආගම්වල සැටියට ද කයින් ගරු කරන්නා වූ ආකාරයෝ බොහෝ වෙති. පා වහන්, හිස් වැසුම්, කුඩ ඉවත් කිරීම, හුනස්නෙන් නැගී සිටීම, උසසුන්වල නො හිඳීම, වැඳීම යනාදිය බෞද්ධයන් විසින් පවත්වන ගරු කිරීමේ ක්‍ර‍මයෝ ය.

වැඳීමය යනු තමාගේ යටහත් බව, ගරු කරන බව, අවනත බව, කීකරු බව දක්වන්නා වූ ක්‍ර‍මය ය. එය කාය වන්දනාවය, වචී වන්දනාවය, මනෝ වන්දනාවය යි ත්‍රිවිධ වේ. කයින් වන්දනා කිරීමේ ආකාරයෝ ද බොහෝ ය. දෙ අත් එක් කොට ළය ඉදිරියේ තබා වැඳීම ය, දෙ අත් නළල මත තබා වැඳීම ය, දෙ අත් හිස මත තබා වැඳීම ය, දෙ අත් එක් කොට දකුණු දන බිම තබා වැඳීම ය, දෙ අත් එක් කොට දෙ දණ ම බිම තබා වැඳීම ය, දෙ දණය දෙ අතය හිසය යන පස් තැන බිම තබා වැඳීමය යන මේවා කාය වන්දනාවෝ ය. රත්නත්‍ර‍යට වැඳීමේ දී ඉතා උසස් වන්දනාවකින් වැඳීම ද යෝග්‍ය ය. එබැවින් බෞද්ධයන් විසින් රත්නත්‍ර‍ය වැඳීමේ දී පසඟ පිහිටුවා වැඳීමේ ක්‍ර‍මයෙන් ම වැඳීම මැනවි.

වචනයෙන් ගරු කිරීම ය යනු ගරු කළ යුත්තන් හා කථා කිරීමේ දී ද ගරු කළ යුත්තන් ගැන කථා කිරීමේ දී ද ගෞරව දැක්වෙන වචන පාවිච්චි කිරීම හා වචනයෙන් වන්දනා කිරීම ය. “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යනාදි වන්දනාව ප්‍ර‍කාශ වන වචන කීම වාචා වන්දනාව ය. ස්තුති වාක්‍යය, ස්තුති ගීතාදිය කීම ද එයට ඇතුළත් ය.

සිතින් ගරු කිරීමය යනු ගරු කළ යුත්තන් කෙරෙහි සිත නමා ගැනීම හා එතුමන්ලාගේ ගුණයන් ආදරයෙන් සිහි කිරීම ය.

අපචායනයේ අනුසස්

“යෙ මුද්ධ මපචායන්ති - නරා ධම්මස්ස කොවිදා

දිට්ඨෙ ව ධම්මෙ පාසංසා - සම්පරායෙ ච සුග්ගති”

තේරුම:

වෘද්ධාපචායන ධර්මය දක්නා වූ යම් කෙනෙක් වෘද්ධයනට ගරු බුහුමන් කෙරෙත් ද ඔවුහු ඉහතාත්මයෙහි ප්‍ර‍ශංසා කළ යුත්තෝ වෙති. ඔවුනට මරණින් මතු පැමිණිය යුතු තැන ද සුගතිය වේ.

“අභිවාදනසීලිස්ස - නිච්චං වුද්ධා පචායිනො

චත්තාරො ධම්මා වඩ්ඪන්ති - ආයු වණ්ණෝ සුඛං බලං”

තේරුම:

වැඩිමහල්ලන්ට අභිවාදනය කරන ස්වභාවය ඇත්තා වූ නිතර වෘද්ධයන්ට ගරු බුහුමන් කරන්නා වූ තැනැත්තා හට ආයුෂය ශරීර වර්ණය සැපය බලය යන ධර්මයෝ සතර දෙන වැඩෙත්.

අපචායන කුශලය අන්‍යයන් විසින් ගරු බුහුමන් කරන රාජකුලාදි උසස් කුලවල ඉපදීමට හා ගරු බුහුමන් ලැබීමට ද උසස් තනතුරු ලැබීමට ද හේතු වන බව කිය යුතු ය. සැවැත්නුවර විසූ අදින්න පුබ්බක නම් වූ මසුරු බමුණාගේ පුත්‍ර‍ මට්ටකුණ්ඩලී බුදුන් වහන්සේට සිතින් පමණක් ගෞරව කිරීමෙන් තව්තිසා දෙව්ලොව උපන් බව දම්පිටුවාවේ දක්වා තිබේ. එක් සැඩොල් මැහැල්ලක් බුදුන් වහන්සේට වැඳීමේ කුශලයෙන් මරණින් මතු දෙව්ලොව උපන් බව විමානවස්තු ප්‍ර‍කරණයේ දක්වා තිබේ. ගරු කළ යුත්තන්ට ගරු කිරීම කුශලයක් වන්නා සේ ම ගරු කළ යුත්තන්ට අගෞරව කිරීම පාපයක් වන බව ද දත යුතු ය.

5. වෙය්‍යාවච්ච කුශලය

බුද්ධාදි රත්නත්‍ර‍යට ද, මාපියන්ට හා ගුරුන්ට ද, මහල්ලන්ට හා රෝගීන්ට ද ආගන්තුකයන්ට හා අන්‍ය සුදුස්සන්ට ද වතාවත් කිරීම වෙය්‍යාවච්ච කුශලය ය. විහාර ගෙවල්, විහාරමලු, දාගැප්මලු, මලසුන් ගෙවල්, බෝමලු, දහම්හල්, සංඝාවාස, සංඝාරාම, ජනයා ගමන් කරන මාර්ග යන මේවා පවිත්‍ර‍ කිරීම, ඒවායේ කැඩුම් බිඳුම් සකස් කිරීම, සුණු ගෑම,මැටි ගෑම, භික්ෂූන් වහන්සේලාට දැහැටි උණු පැන් සිසිල් පැන් සපයා දීම, පඬු සපයා දීම, සිවුරු සෝදා දීම, පඬු පොවා දීම, පාත්‍ර‍ සෝදා දීම, සංඝාරාමවල මල්පල හටගන්නා ගස් වැල් රෝපණය කිරීම, මාපියන්ට හා ගුරුන්ට උණු පැන් සිසිල් පැන් ආදිය සැපයීම, ඔවුන් නෑවීම, ඔවුන්ගේ අත් පා මිරිකා දීම, රෝගීන්ට කැඳ බත් බෙහෙත් ආදිය සපයා දීම, ඔවුන්ගේ ශරීර වස්ත්‍ර‍ වාසස්ථාන පවිත්‍ර‍ කර දීම, මහජනයාගේ ප්‍රයෝජනය පිණිස වැව් ළිං පොකුණු විශ්‍රාම ශාලා මාර්ග තැනීම,ඒවා පිළිදැගුම් කිරීම, මහජනයාගේ ප්‍රයෝජනය පිණිස මල් පල හටගන්නා ගස් වැල් රෝපණය කිරීම යනාදි පින් සලකා කය වෙහෙසා කරන ක්‍රියා සියල්ල ම වෙය්‍යාවච්ච කුශලයට අයත් වේ.

වෙය්‍යාවච්චයේ අනුසස්.

පඤ්චානිසංසා සම්මජ්ජිනියා සකං චිත්තං පසීදති. පරචිත්තං පසීදති, දෙවතා අත්තමානා හොන්ති, පාසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති. කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති.

යනුවෙන් “සිය සිත පහන්වීමය, අනුන්ගේ සිත් පැහැදීමය, දෙවියන් සතුටු වීමය, ප්‍ර‍සාදය එලවන පිනක් රැස්වීමය, මරණින් මතු ස්වර්ගයෙහි ඉපදීමය” යි අනුසස් පසක් හැමදීමෙන් ලැබෙන බව ප්‍ර‍කාශිත ය.

පෙර කාශ්‍යප බුදුන්වහන්සේගේ සස්නෙහි පැවිදිව වෙසෙන කල කළා වූ හැමදීමය, කසළ ඉවත් කිරීමය යන දෙ පිනින් “නාගසේන” ස්ථවිරයන් වහන්සේ හා “මිළිඳු” මහරජතුමා ද ලෝක ප්‍ර‍සිද්ධ කීර්ති ඇති මහනුවණැතියෝ වූහ. මිනිසුන්ගේ ගමනාගමනයට මාර්ග තැනීම, අම්බලම් තැනීම, ළිං පොකුණු තැනීම, මල් පල හට ගන්නා ගස්වැල් වැවීම යනාදි පින්කම් කළා වූ “මඝ” මානවක තෙමේ ශක්‍ර‍යා විය. ඔහු හා එක්ව ඒ පින්කම් කළා වූ දෙතිස් දෙනා ද මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නෝ ය.

6. ප්‍රාප්ති දානය හෙවත් පින් දීම.

තමා විසින් කළ පින අනුන්ට අනුමෝදන් කරවීම හෙවත් අයිති කිරීම ප්‍රාප්තිදාන නම් වේ. ආහාර පාන වස්ත්‍රාදිය දීම පිනක් වන්නාක් මෙන් ම තමා කළ පින අනුන්ට දීම ද පිනකි. පින වනාහි අන්‍ය වස්තුවක් මෙන් අතින් අතට දිය හැකි දෙයක් නොවේ. එය දිය යුත්තේ තමාගේ පින අනුමෝදන් වන්නට ය, පිළිගන්නටය යි වචනයෙන් කීමෙනි. තමා විසින් කළ පිනක් එක් සත්ත්වයකුට දෙන කල්හි මාගේ පින අසවල් නම ඇත්තා අනුමෝදන් වේවා කියා හෝ මාගේ පින අසවලාට හිමිවේවා අයිති වේවා කියා හෝ ඇසෙන සේ කිව යුතු ය. සත්ත්ව සමූහයකට පින් දෙන කල්හි මාගේ නෑයෝ මේ පින අනුමෝදන් වෙත්වා: ලබත්වා යනාදීන් පින් දෙන සත්ත්ව සමූහයේ නම කියා පින් දීම කළයුතු ය. එක් පහනකින් තවත් කොතෙක් පහන් දල්වා ගත්තේ ද එහි ගින්නට එයින් මඳ හානියකුදු නොවන්නාක් මෙන් කොතෙක් දෙනාට පින් දුන ද කොතෙක් වාර ගණනක් පින් දුන ද කළ තැනැත්තාගේ පිනට එයින් හානියක් නොවේ.

පැන් වැඩීම

දායකයාගේ අතින් ගෙන ප්‍ර‍තිග්‍රාහකයාගේ අතෙහි තබා නොදිය හැකි දෑ දෙන ක්‍ර‍මය අතුරෙන් පැන් වත් කොට දීම ද පෙර පටන් මිනිසුන් අතර පැවත එන එක් දාන ක්‍ර‍මයෙකි. බිම්සර රජතුමා වේළුවනාරාමය පැන් වත් කිරීමෙන් පූජා කළ බව මහාවග්ග පාලියේ දක්වා තිබේ. දෙවන පෑතිස් රජතුමා මහමෙවුනා උයන පූජා කිරීමේ දී ද පැන් වත් කොට පූජා කළ බව විනය අටුවාවේ දක්වා තිබේ. පින් දීමේ දී පැන් වත්කරනුයේ ඒ පෞරාණික චාරිත්‍ර‍යට අනුව ය. පැරණියෝ ජලය වත් කොට දීම සාක්ෂියක් වශයෙන් සැලකූහ. මෙකල පැන් වත් කොට පින්දෙනු දක්නට ලැබෙන්නේ මළවුන්ට ය. කාහට පින්දීමට වුව ද පැන් වත්කළාට වරදක් නැත. මළවුන්ට පින්දීමේ දී වුව ද පැන් නො වත් කළාට වන හානියක් නැත. එහෙත් එය දීර්ඝ කාලයක් බෞද්ධයන් විසින් කර ගෙන ආ චාරිත්‍ර‍යක් බැවින් පැන් නොවත් කළ හොත් පින් නො ලැබෙති යි සිතා මළවුන් පින් අනුමෝදන් නො වුවහොත් ඔවුනට හානියක් විය හැකි බැවින් පෞරාණික චාරිත්‍ර‍ය එසේ ම පවත්වා ගෙනයෑම යහපති.

මළවුන්ට පින්දීම

හැකි තාක් පව්කම්වලින් වැළකී පින්දහම් කළා වූ සත්පුරුෂයෝ ද සමහර විට මරණාසන්නයේ දී මෙලොව ඇති දේවලට ආශාව ඇති වීම නිසා පරදත්තුපජීවික ප්‍රේත ව උපදිති. ඒ පරදත්තුප ජීවික ප්‍රේතයෝ සා පිපාසා සන්සිඳුවා ගත හැකි පමණට බත් පැන් නො ලබන්නෝ ය. විළි වසා ගැනීමට වස්ත්‍ර‍ නැත්තෝ ය. වාසය කිරීමට ගෙවල් නැත්තෝ ය. ඔවුහු ඉතා දුක්ඛිතයෝ ය. ඒවා ලබා ගැනීම සඳහා ඔවුන්ට කළ හැකි දෙයක් ද නැත්තේ ය. ඔවුනට ඒවා ලබා ගැනීමට ඇත්තා වූ එක ම ක්‍ර‍මය තමන්ගේ ඥාති මිත්‍රාදීන් දෙන පින් අනුමෝදන් වීම ය. එබැවින් ඔවුහු පින් ගැනීමට ස්වකීය ඥාතීන් වෙත පැමිණෙති. සමහර විට පෙර ජාතිවල නෑ වූ ප්‍රේතයෝ ද පින් ගැනීමට එති. බිම්සර රජතුමාගේ පෙර ජාතියක දී නෑයන් වූ දහස් ගණනක් ප්‍රේතයෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි බලාපොරොත්තුව සිට එතුමා වෙත පින් ගැනීමට පැමිණියෝ ය. ප්‍රේතත්වයට පැමිණ සිටින තමාගේ ඥාතීන්ට සංග්‍ර‍හ කිරීමට ආහාර පානාදිය ලබාදීමට ජීවතුන්ට ඇත්තා වූ එකම ක්‍ර‍මයත් ඔවුන් උදෙසා පින් කොට ඒ පින් ඔවුනට අනුමෝදන් කරවීම ය. එබැවින් බෞද්ධයෝ පෙර පටන් ම මියගිය ඥාතීන් උදෙසා පින් කොට ඔවුනට පින් අනුමෝදන් කරවති.

ජීවත්ව වෙසෙන කල්හි තමාට හිතවත් ව සිටියා වූ ඥාතීන් හා මිත්‍ර‍යන් මළ කල්හි අමතක කොට නො හැර ඔවුනට කළ හැක්කා වූ උපකාරයක් කිරීම මනුෂ්‍ය ධර්මයකි. මිය ගිය හිතවතුන් අමතක කිරීම ඔවුන් ගැන නො සලකා සිටීම අසත් පුරුෂ කමෙකි. එබැවින් මිය ගිය මාපියාදී ඥාතීන් උදෙසා පින් කොට සැම දෙනා විසින් ම පින් දීම කළ යුතු ය. මිය යන සෑම දෙනා ම ඥාතීන්ගෙන් පින් ගැනීමට බලාපොරොත්තු නො වෙති. බලාපොරොත්තු වන්නෝ ප්‍රේත වූවන් පමණකි. එහෙත් මිය ගිය තැනැත්තා උපන් තැන දත නොහෙන බැවින් මිය යන සෑම දෙනා ම උදෙසා පින් කොට බෞද්ධයෝ පින් දෙති. කවරකු උදෙසා පින් කළත් පින් අනුමෝදන් කරවන අයට එය ලැබුණත් නො ලැබුණත් කළ තැනැත්තාට එහි විපාකය ලැබෙන බැවින් මිය ගිය කවරෙකු උදෙසා පිනක් කළත් එය නිෂ්ඵල ක්‍රියාවක් නො වේ. එසේ කිරීමෙන් තමාගේ යුතුකම ඉටු කළා ද වන්නේ ය.

පින් අනුමෝදන් වන පරදත්තූප ජීවික ප්‍රේතයන්ට එහි ඵලය එකෙණෙහි ම ලැබෙන්නේ ය. එහෙත් එක් දෙයක් දන් දීමෙන් ලැබෙන පිනෙන් ප්‍රේතයන්ට සැම දෙයම ලැබෙන්නේ නොවේ. එබැවින් ඔවුනට ආහාර ලැබීම සඳහා ආහාර ද, වස්ත්‍ර‍ ලැබීම සඳහා වස්ත්‍ර‍ ද, වාසස්ථාන ලැබීම සඳහා කොට්ට මෙට්ට ඇඳ පුටු ඇතිරිලි ආදිය ද දන් දී පින් දිය යුතු ය. බිම්සර රජතුමා ආහාර පානයන් දන් දී පින අනුමෝදන් වීමෙන් ඥාති ප්‍රේතයෝ බත් පැන් ලැබූහ. එහෙත් හැඳීමට වස්ත්‍ර‍ නො ලැබුවෝ ය. වස්ත්‍ර‍ නො ලැබූ ඔවුහු එදින රාත්‍රියේ නැවතත් නග්න ව රජතුමාට පෙනී සිටියෝ ය. පසු දින රජතුමා වස්ත්‍ර‍ දන් දී ඔවුනට පින් දිණ. එයින් ඔවුහු වස්ත්‍ර‍ ලැබූහ. බෞද්ධයන් මළවුන් උදෙසා දන් දෙන කල්හි එක් වරකට වුවමනා නො කරන තරමට බොහෝ ව්‍යංජනවලින් හා නොයෙක් කැවිලි පෙවිලි පලතුරු ආදියෙන් යුක්ත කොට වස්ත්‍ර‍ සහිත ව පිඟන් කෝප්ප පැදුරු කොට්ට සහිත ව දන් දීමට පුරුදු වී තිබෙන්නේ ප්‍රේතයන්ට සියල්ල ම ලබාදීම සඳහාය.

නො මනා පින් දීමේ ක්‍ර‍මයක්

මළවුනට පින් දෙන්නා වූ ඇතැම්හු “අපගේ ඥාතීහු අභව්‍ය ස්ථානයකට පැමිණ සිටිත් නම් මේ පින අනුමෝදන් වී ඔවුහු ඉන් චුත ව සුගතියට යෙත්වා”යි පින් දෙති. ඇතැම් අව්‍යක්ත භික්ෂූන් ද එසේ කිරීමට දායකයනට අනුශාසනය කරනු සමහර තැන්වල දී අසන්නට ලැබේ. එය නො මනා පින්දීමේ ක්‍ර‍මයෙකි. ප්‍රේතයන්ට ප්‍රේතාත්මයෙන් චුත ව සුගතියට පැමිණෙන්නට පැතීම නොහොත් ඉල්ලීම වරක් මළ අයට නැවතත් මැරෙන්නට පැතීම ය. සකල සත්ත්වයෝ ම ජීවත් වීමට කැමැත්තෝ ය. මැරෙන්නට නො කැමැත්තෝ ය. එබැවින් මැරෙන්නට පතා දෙන පිනට ප්‍රේතයන් කැමති වෙතැයි සිතිය නො හැකිය. ඔවුනට වුවමනා කර්නනේ මැරෙන්නට නොව ඒ සිටින සැටියට සිටගෙන සම්පත් ලැබීමට ය. ප්‍රේතයන්ට පින් දුන් සැටි දැක්වෙන බොහෝ කථා වස්තුවලින් පෙනෙන්නේ ද පින් අනුමෝදන් වීමෙන් ප්‍රේතත්වයෙන් සිට ගෙන ම ඔවුන් සැපසම්පත් ලබන බව ය. එ බැවින් ‍ප්‍රේතයන්ට පින් දෙන කල්හි ඔවුන් මැරෙන්නට නො පතා ඔවුනට අඩුවක් පාඩුවක් ඇත්තා වූ යමක් වේ නම් මේ පින් අනුමෝදන් වී ඔවුහු ඒවා ලබත්වා යි පතා පින්දිය යුතු වේ.

දෙවියන්ට පින් දීම

දෙවියෝ ද යම් යම් ආකාරවලින් නොයෙක් විට මිනිසුන්ට උපකාර කරන සත්ත්ව කොට්ඨාසයෙකි. කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් ඔවුනට කළ හැකි සංග්‍ර‍හයක් කිරීම මිනිසුන්ගේ යුතු කමෙකි. දෙවියන්ට සංග්‍ර‍හයක් වශයෙන් මිනිසුන්ට කළ හැකි දෙය නම් තමන් කරන පින් ඔවුනට ද අනුමෝදන් කරවීමය. පින් අනුමෝදන් කරවන මිනිසුන්ට විශේෂයේ දෙවියෝ අනුකම්පා කරති. දේවතානුකම්පාව ලැබීම මනුෂ්‍යයාගේ යහපතට දියුණුවට බලවත් හේතුවකි. දේවතානුකම්පාව ලැබීම පිණිස ද කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් ද පින් කළ සෑම අවස්ථාවක දී ම දෙවියන්ට ද පින් අනුමෝදන් කරවිය යුතු ය.

තමන් වළඳා ඉතිරි වූ බත මසුන්ට දී ගංගා දේවතාවාට පින් දුන් බෝසතාණන් වහන්සේට පින් දීම ගැන සතුටු වූ ගංගා දේවතාවා විසින් බෝසතාණන් වහන්සේගේ ගඟේ වැටුණු මුදල් පොට්ටනිය නැවත ලබා දීමෙන් උපකාර කළ බව මච්චුද්දාන ජාතකයේ දක්වා තිබේ. විස්තර ජාතක පොතෙන් බලනු.

සකල සත්ත්වයන්ට පින් දීම

පිනක් කළ කල්හි මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පමණක් නොව සකල සත්ත්වයන්ට ම ඒ පින අනුමෝදන් කරවිය යුතු ය. එසේ කිරීමේ දී යමෙක් යමෙක් අනුමෝදන් වූවාහු නම් ඔවුනට පින් ලැබේ. අනුමෝදන් වීම හෝ නො වීම අන්‍යයන් අයත් දෙයකි. පින්දීම පින් කළ තැනැත්තාට අයත් කාර්‍ය්‍යයෙකි. දෙන පින අන්‍යයන් අනුමෝදන් වෙතත් නො වෙතත් පින් දෙන තැනැත්තාට එයින් පින් දීමෙන් ලැබෙන කුශලය ලැබේ.

පින් දෙන ආකාරය

නෑයන්ට :

ඉදං වො ඤාතීනං හොතු

සුඛිතා හොන්තු ඤාතයො

දෙවියන්ට :

එත්තාවතා ච අම්හෙහි - සම්භතං පුඤ්ඤ සම්පදං

සබ්බේ දෙවානුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

සියලු සතුන්ට :

එත්තාවතා ච අම්හෙහි - සම්භතං පුඤ්ඤ සම්පදං

සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

සිංහලයෙන් කියතොත් මෙසේ කියනු.

මා විසින් (දන් දීමෙන්) අත්පත් කර ගන්නා ලද කුශලය අපගේ කාලක්‍රියා කළ ඥාතීහු අනුමෝදන් වෙත්වා, කාලක්‍රියා කළ ඥාතීන්ට මේ පින අයිති වේවා, මේ පින අනුමෝදන් වීමෙන් ඥාතීහු සුවපත් වෙත්වා.

මා විසින් (දන් දීමෙන්) අත්පත් කර ගන්නා ලද කුශලය ලෝක ශාසනාරක්ෂක දෙවියෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී අප ඇතුළු ලෝකයා මනා කොට ආරක්ෂා කෙරෙත්වා.

ලෝකයෙහි වෙසෙන සැප ඇති නැති සකල සත්ත්වයෝ අපගේ මේ පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සැපතට පැමිණෙත්වා.

7. පින් අනුමෝදන් වීම

අනුන් අනුමෝදන් කරවන, දෙන පින් සතුටින් පිළිගැනීම පින් අනුමෝදන් වීම ය. පත්තානුමෝදනා යනු ද එයට නමෙකි. පින් කැමති සත්පුරුෂයෝ ශ්‍ර‍මණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට දන් දී පින් සිදු කර ගනිති. එයින් ඔවුන්ගේ කීර්තිය ද පැතිර යයි. ප්‍ර‍තිග්‍රාහකයෝ ද ඒ පින්වතුන්ගේ ප්‍ර‍ත්‍යය ලබා සැපවත් වෙති. පර සම්පත්තිය නො ඉවසන ස්වභාවය වූ ඊර්ෂ්‍යාව සත්ත්වයන් තුළ දීර්ඝ කාලයක පටන් පැවත එන පාපයෙකි. ඒ නිසා සෑම දෙනාට ම දන් දෙන සත්පුරුෂයන්ට වන පුණ්‍යලාභය ගැන හා ප්‍ර‍තිග්‍රාහකයන්ට වන ප්‍ර‍ත්‍යය ලාභය ගැන ද සතුටු විය නො හැකි ය. එබැවින් ඊර්‍ෂ්‍යා ඇතියෝ දායක ප්‍ර‍තිග්‍රාහක දෙපක්ෂයට ම නින්දා කරති. පින් අනුමෝදන් නො වෙති. ප්‍ර‍තිග්‍රාහකයන්ට වන ලාභය ගැන අසත්පුරුෂයෝ තුළ වඩාත් ඊර්‍ෂ්‍යාව ඇති වේ. එබැවින් ඔවුහු වඩාත් ප්‍ර‍තිග්‍රාහකයන්ට නින්දා කෙරෙති. ලාභය වැළැක්වීමට තැත් කෙරෙති. පින් අනුමෝදන් වීම වනාහි ඊර්‍ෂ්‍යාවට ප්‍ර‍තිපක්ෂ පුණ්‍ය කර්මයෙකි. එ බැවින් එය ලැබිය හැක්කේ දායක ප්‍ර‍තිග්‍රාහක දෙපක්ෂයට ඊර්‍ෂ්‍යා නො කරන්නා වූ සත්පුරුෂයන්ට පමණකි. යම් කිසිවකු පිනක් කොට අනුමෝදන් කරවන කල්හි ඊර්‍ෂ්‍යා විරහිත පිරිසිදු සිතින් එය අනුමෝදන් විය හැකි සත්පුරුෂයාට පින් අනුමෝදන් වීමේ කුශලය ලැබේ. අනුන් පිනක් කරනු දකින අසන කල්හි පින් නුදුන්නේ ද ඒ පින අනුමෝදන් විය හැකිය. කෙනකු භික්ෂූන්ට දන් දෙනු දුටු කල්හි “මේ සත්පුරුෂයා දන් දී පින් සිදු කර ගන්නේ ය. මොහු නිසා භික්ෂූන් වහන්සේ ද සුවපත් වන්නාහ. මොහු ද පින් සිදුකර ගනී වා, භික්ෂූන් වහන්සේ ද මොහු නිසා සුවපත් වෙත්වා”යි සිතන තැනැත්තා හට පින් අනුමෝදන් වීමේ කුශලය ලැබේ. පින් අනුමෝදන් වීමෙන් වන්නා වූ කුශලය අනුමෝදන් වන කුශලයාගේ කුඩා මහත්කමේ සැටියට ද අනුමෝදන් වන තැනැත්තා කෙරෙහි ඒ අවස්ථාවේ දී ඇති වන ශ්‍ර‍ද්ධාදි ධර්මයන්ගේ සැටියට ද කුඩා මහත් වේ. එහි විපාකය පරදත්තුපජීවික ප්‍රේතයන්ට හා ඇතැම් භූතයන්ට එකෙණෙහි ම ලැබේ. සෙස්සන් සුදුසු අවස්ථාවල දී ලැබේ.

8. ධර්ම ශ්‍ර‍වණය

තථාගතයන් වහන්සේ විසින් දේශිත අපාදුක් ගිනි නිවන, සසර දුක් දුරලන, සග මොක් මඟ හෙළි කරන සුපරිශුද්ධ ධර්මය ආදර ගෞරවයෙන් ඇසීම ධර්ම ශ්‍ර‍වණ කුශලය ය. මෙකල ඇතැම් බෞද්ධයෝ බණ ඇසීම නැටුම් බැලීමක් සේ විනෝද ක්‍රියාවක් කරගෙන සිටිති. ඔවුහු මහ හඬින් හෝ මිහිරි හඬින් හෝ දේශනය කළහොත් හොඳ බණකැ යි කියති. කෙනකුට ගර්හා කරමින් කෙනකුට පසසමින් සිනාසිය හැකි විහිළු කථා කියමින් දහම් දෙසුව හොත් බොහොම හොඳ බණකැයි කියති. ස්තුතිවලින් තොර වූ ගර්හාවලින් තොර වූ විසුළු කථාවලින් තොර වූ ශුද්ධ බුද්ධ ධර්මය දෙසුව හොත් එයට නින්දා කරති. බෞද්ධයන් මේ තත්ත්වයට වැටී සිටීම සංවේග ජනකය. තථාගතයන් වහන්සේ ධර්මය රාගය පිණිස නො ව විරාගය පිණිස දෙසන ලද්දකි. එබැවින් එයින් නැටුම් බැලීමකින් මෙන් විනේාදයක් ලබන්නට නො සිතා ඉතා ගෞරවයෙන් එය ශ්‍ර‍වණය කළ යුතු ය. විනෝදය පිණිස දහම් අසනවාට වඩා නො ඇසීම ම යහපති. ඇතමෙක් දේශකයාගේ සමත්කම මනිනු පිණිස ද ඇතමෙක් ඇද පලුදු සොයනු පිණිස ද දහම් දෙසති. ඒ ද නො මැනවි. බණ අසන කල්හි යම්කිසි දෙයක් දැන ගැනීමේ අදහසින් අවවාදයක් අනුශාසනයක් ලබා ගැනීමේ අදහසින් ම එය ඇසිය යුතු ය. ඇතමෙක් උසස් ය යි සම්මත කෙනකුගෙන් මිස සාමාන්‍ය කෙනකු දහම් දෙසන කල්හි අසන්නට නො කැමති වෙති. එ ද නො මැනවි. බුදුන් වහන්සේ ද තමන් වහන්සේගෙන් ශ්‍රාවකයන්ගේ දහම් දෙසුම් ගෞරවයෙන් ඇසූ සේක. නුවණින් අගතැන් පත් සැරියුත් මහරහතන් වහන්සේ සාමනේර නමකගේ අනුශාසනය ගෞරවයෙන් පිළිගත් සේක. කරුණු එසේ හෙයින් දේශකයාගේ උස් මිටි කම් නො බලා කවරකු විසින් වුව දෙසන දහම ගෞරවයෙන් ඇසිය යුතු ය.

බණ ඇසීමේ අනුසස්

කෙනකුට යහපත් කෙනකු වීමට ඇත්තා වූ උසස් ම හේතුව බුද්ධ ධර්මය ඇසීම ය. මනුෂ්‍යයෝ ධර්මයෙන් ඈත් ඈත් වූ පමණට ගුණ හීනයෝ වෙති. ධර්මය ඇසුරු කළ කළ පමණට ගුණවත් වෙති. ශිල්පශාස්ත්‍ර‍ කොතෙක් දැන සිටියත් කොතෙක් ධනය තිබුණත් නෑයන් මිතුරන් කොතෙක් සිටියත් ගුණයෙන් හීන තැනැත්තේ සුවඳින් තොර වූ කෑල මල සේ නො වටනා පුද්ගලයෙකි. විරූප වුවත් දිළිඳු වුවත් ශිල්ප ශාස්ත්‍ර‍ නො දනිතත් ගුණවතා පූජ්‍ය පුද්ගලයෙකි. සැවැත්නුවර වීථිවල කසළ ඉවත් කරන්නකු වූ සුනීත ගුණවතකු වීම නිසා රජුන් විසින් පවා පුදනු ලබන්නෙක් විය. ගෞරවයෙන් බණ අසණ තැනැත්තේ ක්‍ර‍මයෙන් පව් නො කරන පින් කරන ගුණවතෙක් වේ. එය දහම් ඇසීමේ එක් අනුසසකි.

“පඤ්චිමේ භික්ඛවෙ ආනිසංසා ධම්මසවණෙ, කතමේ පඤ්ච? අස්සුතං සුණාති, සුතං පරියොදපෙති, කංඛං විතරති, දිට්ඨිං උජුං කරෝති, චිත්තමස්ස පසීදති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා ධම්ම සවණෙ”

යනුවෙන් නො ඇසූ දෑ අසන්නට ලැබීම ය, ඇසූ දෑ පිරිසිදු වීමය, සැක දුරුවීමය, දෘෂ්ටිය සෘජුවීමය, සිත පැහැදීම ය යන අනුසස් පස දහම් ඇසීමෙන් ලැබෙන පව ප්‍ර‍කාශිත ය.

“සද්ධම්ම දෙසනා කාලෙ - සාධු සාධූති භාසතො

මුඛතො නිබ්බන්ති ගන්ධො - උප්පලංව යථොදකෙ”

යනුවෙන් දහම් දෙසන කල සාධුකාර දෙන පින්වතාගේ මුඛයෙන් මානෙල් මල් සුවඳ ඇති වන බව කථා වස්තුවත් සමඟ මනෝරථ පූරණි නම් වූ අංගුත්තර අටුවාවේ දක්වා තිබේ.

චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙක් කිසි ම තේරුමක් නැති ව දහම් දෙසන හඬ පමණක් අසා දෙව් ලොව උපන් බව විමාන වත්ථු ප්‍ර‍කරණයෙහි දක්වා තිබේ. ලක්දිව කුඹල් තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ කිරි වවුලන් තේරුම් නොමැතිව සතුටු සිතින් දහම් හදාරන හඬ අසා ඒ පිනෙන් මිනිස් ලොව උපන් බව ද, තලගුරු වෙහෙර ධම්මදින්න තෙරුන් වහන්සේගෙන් දහම් හදාරන හඬ සතුටින් ඇසූ කණ ගැරඬියකු ඒ පිනින් මිනිස් ලොව ඇමති කුලයෙහි උපන් බව ද දක්වා තිබේ. බණ ඇසීමේ කුශල බලයෙන්න දෙව්මිනිස් සැප ලැබූවන්ගේ ගණනක් නැත. බණ අසා සෝවාන් ආදි සතර මඟ සතර ඵලයට පැමිණ නිවන් දුටුවන්ගේ ගණනක් ද නැත්තේ ය. එබැවින් සකල සම්පත් ලබා දෙන්නා වූ තථාගතයන් වහන්සේගේ ධර්මය අත්‍යාදර ගෞරවයෙන් අසත්වා.

පැරණි සැදැහැතියන් ගෞරවයෙන් බණ ඇසූ සැටි

මේ ලක්දිව අනුරාධපුරයේ කාල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ විසින් කළු තිඹිරි ගස යට කාලකාරාම සූත්‍රයෙන් රාත්‍රිය මුළුල්ලෙහි දෙසූ ධර්මය සැදැහැතිස් රජතුමා බණ අසන පිරිසෙන් පිටත අඳුරේ සිට ගෙන සිටි පිය නො සොලවා රාත්‍රිය මුළුල්ලේ ම ගෞරවයෙන් ඇසී ය.

ගවරවාල අඞ්ගණයෙහි එක්තරා පිණ්ඩපාතික ස්ථවිරයන් වහන්සේ කෙනෙක් රාත්‍රියේ පිරිසෙන් පිටත සිට බණ අසන්නාහු සර්පයකු විසින් දෂ්ට කරන ලදහ. උන් වහන්සේ තමන්ට වූ විපත කිසිවකුට නො දන්වා බණ හමාර කරන තුරු බණ ඇසූහ.

අත දරුවා ද ගෙන සිතුල්පව් විහාරයට ගොස් දරුවා ගසක් මුල නිදි කරවා බණ ඇසූ ස්ත්‍රියක් දරුවා සර්පයකු විසින් දෂ්ට කර යනු දැක ද ඒ බව කිසිවකුට නො දන්වා ගෞරවයෙන් රාත්‍රිය මුළුල්ලෙහි ම බණ ඇසුවා ය.

මාගම තිස්ස මහා විහාරයේ විසූ තරුණ භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙස්සන්තර ජාතකය ඇසීමට පයින් ම නව යොදුන් මඟ ගෙවා දිගා වැවට ගිය හ.

උල්ලභ කෝල කණ්ණික නැමති ගම ස්ත්‍රියක බණ අසනු පිණිස එක් දිනකින් ම පස් යොදුන් මඟ ගෙවා පයින් ම ගමන් කොට රාත්‍රිය මුළුල්ලේ ම බණ ඇසුවා ය.

9. ධර්ම දේශනය

ලාභ කීර්ති ප්‍ර‍ශංසා ගැන අපේක්ෂාවක් නැති ව සත්ත්වයන් කෙරෙහි කරුණාව පෙරදැරි කොට ඔවුන් දුකින් මිදවීමේ අදහසින් සත්ත්වයන් සැපතට පැමිණවීමේ අදහසින් තථාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම ධර්ම දේශනා කුශලය ය. දහම් දෙසීම සැමට ම කළ හැකි පහසු කාර්‍ය්‍යයක් නො වේ.

එක් දවසක් ආයුෂ්මත් උදායි ස්ථවිරයන් මහ ගිහි පිරිසක් පිරිවරා ගෙන ඔවුනට දහම් දෙසනු දැක ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ සේක. එකල්හි තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

‘න ඛො ආනන්ද, සුකරං පරෙසං ධම්මං දෙසෙතුං. පරෙසං ආනන්ද, ධම්මං දෙසෙන්තෙන පඤ්චධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො. කතමේ පඤ්ච? ආනුපුබ්බි කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. පරියාය දස්සාවි කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. අනුද්දයතං පටිච්ච කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො, න ආමිසන්තරො කථං කථොස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො, අත්තානං ච පරං ච අනුපහච්ච කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. න ඛො ආනන්ද සුකරං පරෙසං ධම්මං දෙසෙතුං පරෙසං ආනන්ද ධම්මං දෙසෙන්තෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො”.

තේරුම:

ආනන්දය, මෙරමා හට දහම් දෙසීම පහසු නොවේ. ආනන්දය, මෙරමා හට දහම් දෙසන්නාහු විසින් කරුණු පසක් තමා කෙරෙහි ඇති කර ගෙන මෙරමා හට දහම් දෙසිය යුතුය. කවර කරුණු පසෙක් ද යත්, අනුපිළිවෙළින් කතාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. ඒ ඒ අර්ථයට සෑහෙන කරුණු දක්වා කරන කථාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. අනුකම්පා නිසා කරන කථාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතුය. ආමිෂයක් බලාපොරොත්තු නොවන කථාවක් කරමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. අත්තුක්කංසන පරවම්භනාදියෙන් තමාගේ හා මෙරමාගේ ගුණ නො නසන කථාවක් කරමි යි මෙරමා හට දහම් දෙසිය යුතුය. ආනන්දය, මෙරමා හට දහම් දෙසීම පහසු නො වේ. ආනන්දය, මෙරමා හට දහම් දෙසන්නහු විසින් මේ කරුණු පස තමා කෙරෙහි ඇති කර ගෙන මෙරමා හට දහම් දෙසිය යුතුය යනු යි.

ධර්ම දේශනයේ පරිශුද්ධාපරිශුද්ධත්වය

දිනක් භාග්‍යවතුන් වහන්සේ කෙබඳු භික්ෂුවකගේ ධර්ම දේශනය පරිශුද්ධ ද කෙබඳු භික්ෂුවකගේ ධර්ම දේශනය අපරිශුද්ධ ද යන මේ ප්‍ර‍ශ්නය භික්ෂූන්ගෙන් විචාරා භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේට ම එය පහදා වදාරන සේ අයැද සිටි කල්හි මෙසේ වදාළ සේක.

“යො හි කොචි භික්ඛවෙ, භික්ඛු එවං චිත්තො පරෙසං ධම්මං දෙසෙති, අහො වත මෙ ධම්මං සුණෙය්‍යුං සුත්වා ච පන ධම්මං පසීදෙය්‍යුං පසන්නා ච මෙ පසන්නාකාරං කරෙය්‍යන්ති. එවරූපස්ස භික්ඛවෙ, භික්ඛුනෝ අපරිසුද්ධා ධම්මදෙසනා හොති. යො ච ඛො භික්ඛවෙ, භික්ඛු එවං චිත්තො පරෙසං ධම්මං දෙසෙති,ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහි පස්සිකෝ ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. අහො වත මෙ ධම්මං සුණෙය්‍යුං සුත්වා ච පන ධම්මං ආජානෙය්‍යුං. ආජානිත්වා ච පන තථත්තාය පටිපජ්ජෙය්‍යුන්ති, ඉති ධම්ම සුධම්මතං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති. කාරුඤ්ඤං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති, අනුද්දයං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති, අනුකම්පං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති.එවරූපස්ස ඛො භික්ඛවෙ භික්ඛුනො පරිසුද්ධා ධම්මදෙසනා හොති.

“මහණෙනි, යම් භික්ෂුවක් ජනයෝ මාගේ ධර්මය අසන්නාහු නම් අසා ධර්මයෙහි පහදින්නාහු නම් පැහැදුණාහු චීවරාදි ප්‍ර‍ත්‍යයන් පුදන්නාහු නම් ඉතා යෙහෙක යන අදහසින් දහම් දෙසා ද එබඳු අදහස් ඇති භික්ෂුවගේ ධර්මදේශනය අපරිශුද්ධ ය. යම්කිසි භික්ෂුවක් ධර්මය තථාගතයන් වහන්සේ විසින් මනා කොට දේශනය කරන ලද්දක්ය, අනුන් කෙරෙහි විශ්වාසය තැබීමෙන් නොව තමා විසින් ම ඥානයෙන් ප්‍ර‍ත්‍යක්ෂ කර ගෙන දත හැකි දෙයක,කල් නො යවා එකෙණෙහි ම ඵල ලැබිය හැකි එකක,සත්‍ය බැවින් හා පාරිශුද්ධ බැවින් එව බලව යි දැක්විය හැකි දෙයක,නුවණැතියන් විසින් වෙන වෙන ම තම තමන්ගේ සිතින් දතයුතු රසවිඳිය යුතු එකක. මාගේ ධර්මය ජනයෝ අසන්නාහු නම් අසා තේරුම් ගන්නාහු නම් තේරුම් ගෙන පිළිවෙත් පුරන්නාහු නම් ඉතා යෙහෙකැ යි ධර්මයාගේ යහපත් බව නිසා මෙරමාහට දහම් දෙසා ද සත්ත්ව කරුණාව නිසා දහම් දෙසා ද මහණෙනි, එබඳු භික්ෂුවකගේ ධර්මදේශනය පරිශුද්ධය” යනුයි. ඉහත දැක්වූ කරුණු සිත්හි තබාගෙන මනාකොට ධර්මදේශනය කරන්නා වූ සත්පුරුෂයාට එයින් මහත් වූ කුශලයක් අත් පත් වේ.

ධර්මදේශනයෙන් ලැබෙන කුශලයාගේ මහත් බව

පොළොවේ පටන් බ්‍ර‍හ්ම ලෝකය දක්වා සක්වල පුරා වැඩ සිටින පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මට සිලුටු වස්ත්‍ර‍ පිදීමට ද වඩා, එබඳු ප්‍ර‍තිග්‍රාහක පිරිසකට ප්‍ර‍ණීත ආහාර පාත්‍ර‍ පුරවා දෙන දානයකට ද වඩා, එබඳු පිරිසකට තෙල් ගිතෙල් ආදියෙන් පාත්‍ර‍ පුරවා දෙන ගිලන්පස දානයකට ද වඩා, මහා විහාරය වැනි විහාර දහස් ගණනක් කරවීමට ද වඩා, ලෝවාමහාපාය වැනි පහයන් දහස් ගණනක් කරවීමට ද වඩා අනේපිඬු මහ සිටුහු විසින් ජේතවනාරාමය සඳහා කළ පරිත්‍යාගයට ද වඩා අනුමෝදනාවක් කිරීම් වශයෙන් එක් ගාථාවකින් කරන ධර්මදේශනය ම උසස් බව දක්වා තිබේ. මේ සත්ත්වයන් මහා දානයන් දෙනුයේ බණ ඇසීම නිසා ය. බණ නො ඇසුව හොත් ඔවුහු පින් සලකා බත් සැන්දකුදු නො දෙන්නාහ. බණ කීමේ කුශලය උසස් වන්නේ එහෙයිනි. මේ සත්ත්වයන් පින් කොට ලෞකික ලෝකෝත්තර සම්පත් ලබන්නේ ද බණ ඇසීම නිසා ය. එ බැවින් බණ කීම සියල්ල ම දීම වැනි ය. ඒ කාරණයෙන් ධර්මදේශනය අන් හැම පිනක් ම යට කරන උසස් පිනක් වේ. දානාදී පින්කම් වලින් ලැබෙන යම් අනුසසක් වේ නම් ඒ සියල්ල ම දහම් දෙසීමේ කුශලයාගේ ඵල වශයෙන් ලැබෙන බව කිය යුතු ය. ප්‍ර‍ඥාව ලැබීම එහි විශේෂ ඵලයක් වශයෙන් කිය යුතු ය.

10. දිට්ඨිජ්ජුකම්මය හෙවත් දෘෂ්ටිය පිරිසිදු කිරීම

පින් පව් ඇත, පින් පව්වල විපාක ඇත, මරණින් පසු නැවත ඉපදීමක් ඇත. සත්ත්වයෝ කර්මානුරූප පරිදි සුවදුක් ලබන්නාහ යනාදීන් සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම දිට්ඨිජ්ජුකම්ම නම් වූ දස වන කුශලය ය.

බෞද්ධ නාමයෙන් සිටින සැම දෙනම සාමාන්‍යයෙන් කර්මය කර්ම ඵලය පිළිගන්නවුන් වුව ද ශුද්ධ සම්‍යග් දෘෂ්ටිය ඇත්තෝ නො වෙති. ඔවුන්ගෙන් ඇතමෙක් දෘෂ්ට මඞ්ගලාදිය සාර වශයෙන් ගෙන කර්මය සැහැල්ලු කොට සලකති. ඇතමෙක් වර්තමාන කර්ම හා සැප දුක් ලැබීමට ඇති කර්මයේ අන්‍ය හේතූන් ද හැර සියල්ල ම අතීත කුශලාකුශල කර්ම බලයෙන් ම වෙතැයි පමණ ඉක්මවා කර්ම හා කර්ම ඵලය පිළිගනිති. ඇතමෙක් ඇතැම් පුණ්‍යකර්ම පාප කර්ම වශයෙන් ද ඇතමෙක් ඇතැම් පාපකර්ම පුණ්‍යකර්ම වශයෙන් ද වරදවා ගනිති. ඇතමෙක් ඇතැම් අල්ප සාවද්‍ය කර්ම මහා සාවද්‍ය කර්ම වශයෙන් ද, ඇතැම් මහා සාවද්‍ය කර්ම අල්ප සාවද්‍ය කර්ම වශයෙන් ද වරදවා ගෙන සිටිති. එබඳු හැඟීම් ඇතියවුන්ගේ සම්‍යග් දෘෂ්ටිය අපරිශුද්ධ ය. ඔවුන් විසින් ධර්ම ශ්‍ර‍වණ ධර්ම සාකච්ඡා ආදියෙන් දෘෂ්ටිය ශුද්ධ කර ගත යුතු ය.

සම්‍යග්දෘෂ්ටිය අනේකාකාර වුව ද මේ පුණ්‍යක්‍රියා වස්තු විෂයෙහි ගනු ලබන්නේ කර්මස්වකතා සම්‍යග් දෘෂ්ටිය ය. එය -

“කම්මස්සකා සබ්බෙ සත්තා, කම්ම දායාදා, කම්ම යොනි, කම්මබන්ධු, කම්මපටිසරණා, යං කම්මං කරිස්සන්ති කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදා භවිස්සන්ති” යි.

තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදී. “සකල සත්ත්වයෝ කර්මය හිමි කොට ඇත්තෝ ය. කර්මය උරුම කොට ඇත්තෝ ය, කර්මය සැප දුක් ලැබීමේ හේතුව කොට ඇත්තෝ ය. කර්මය නෑ කොට ඇත්තෝ ය. කර්මය පිහිට කොට ඇත්තෝ ය. මනා වූ හෝ නො මනා වූ හෝ යම් කර්මයක් කෙරෙත් නම් සත්ත්වයෝ එය උරුමය කොට ඇත්තාහු වන්නාහු ය.” යනු එහි තේරුම ය.

මේ කර්මස්වකතා සම්‍යක්දෘෂ්ටිය ඇතැම් සූත්‍ර‍වල දී කරුණු දශයක් සම්බන්ධ කොට “අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකත දුක්කතානං කම්මානං ඵලං විපාකෝ, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි අයං ලොකො, සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති” යි වදාරා තිබේ. එහි තේරුම මිථ්‍යා දෘෂ්ටි කර්මය විස්තර කිරීමේ දී ඉහත දක්වන ලද දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියට අනුව තේරුම් ගත හැකි ය.

සම්‍යග් දෘෂ්ටියේ අනුසස්

සත්ත්වයනට සැප සම්පත් ලැබිය හැක්කේ පින් කිරීමෙනි. මිථ්‍යාදෘෂ්ටිය පින් කිරීමට මහත් බාධකයකි. පිනට සත්ත්වයාගේ සිත නැමෙනුයේ සම්‍යග් දෘෂ්ටිය නිසා ය. එ බැවින් එය සියලු පින්වලට මූලය ද ප්‍ර‍තිෂ්ඨාව ද වේ. එය ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයේ පළමු වන අංගය කොට වදාරා තිබෙනුයේ ද එහෙයිනි. සම්‍යග් දෘෂ්ටියේ අගය දක්වා වදාළ දේශනා බොහෝ ය. ඉන් කීපයක් මෙසේ ය.

“නාහං භික්ඛවෙ, අඤ්ඤං එක ධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මා භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති, යථයිදං භික්ඛවෙ සම්මාදිට්ඨි, සම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ, අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා භිය්‍යො භාවාය වෙපුල්ලාය සංවත්තන්ති”.

මහණෙනි, මේ සම්‍යග් දෘෂ්ටිය සේ නූපන් කුශලයන් ඉපදීමට හා උපන් කුශලයන් වැඩීමට ද හේතු වන අන් එක ම ධර්මයකුදු මම නො දකිමි. සම්‍යග් දෘෂ්ටිකයා හට නූපන් කුශලයෝ ද උපදනාහු ය. උපන් කුශලයෝ ද වැඩෙන්නාහු ය” යනු එහි අදහස ය.

“නාහං භික්ඛවෙ, අඤ්ඤං එක ධම්මම්පි සමනුපස්සාමි, යථෙවං සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. යථයිදං භික්ඛවෙ, සම්මා දිට්ඨි, සම්මා දිට්ඨියා භික්ඛවෙ සමන්නාගතා සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති”.

“මහණෙනි, මේ සම්‍යග්දෘෂ්ටිය සේ සත්ත්වයනට සුගතියෙහි ඉපදීමට හේතු වන අන් එක් ධර්මයකුදු නො දක්නෙමි. මහණෙනි, සම්‍යග් දෘෂ්ටියෙන් යුක්ත ව සත්ත්වයෝ මරණින් මතු සුගතිය වූ ස්වර්ගයෙහි උපදනාහු ය” යනු එහි අදහස ය.

සම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ, පුරිස පුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථා දිට්ඨි සමත්තං සමාදින්නං යඤ්ච වචීකම්මං යඤ්ච මනො කම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යා ච පත්ථනා -යො ච පණිධි - යෙ ච සංඛාරා සබ්බෙ තෙ ධම්මා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති.”

“මහණෙනි, සම්‍යග් දෘෂ්ටිකයා විසින් ස්වකීය දෘෂ්ටියේ සැටියට යම් කාය කර්මයක් යම් වාක් කර්මයක් යම් මනඃකර්මයක් සම්පූර්ණ කරන ලද ද ගන්නා ලද ද, යම් ප්‍රාර්ථනයක් කරන ලද ද, යම් සංස්කාරයක් රැස් කරන ලද ද ඒ සියල්ල ඔහුට ඉෂ්ට භාවය පිණිස මනෝඥ භාවය පිණිස මනාප භාවය පිණිස හිත පිණිස සැප පිණිස පවත්නාහුය” යනු එහි අදහස ය.

මේ කර්මස්වකතා සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා දන් දී සිල් රැක භාවනා කොට සැපතින් සැපතට පැමිණෙමින් රහත්ව ද පසේ බුදුව ද ලොවුතුරා බුදු ව ද නිවන් දුටුවන්ගේ පරිච්ඡේදයක් නැත්තේ ය. දුකින් මිදෙනු කැමති, සැපතට පැමිණෙනු කැමති සියල්ලෝ ම ධර්ම ශ්‍ර‍වණ සත්පුරුෂ සේවනාදියෙන් සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටා සම්‍යග්දෘෂ්ටිය පිරිසිදු කර ගෙන නිවන් සැපත අත් පත් කර ගනිත් වා!

මේ පින් දශය අතුරෙන් දාන ශීල භාවනා යන තුන ප්‍ර‍ධාන වේ. ඉතිරි සත ඒවාට ඇතුළත් වේ. එබැවින් පින් දක්වන සමහර තැන්වල දාන ශීල භාවනා තුන පමණක් දක්වා තිබේ. පින් තුනක් කියන තැන්වල දී පත්තිදාන, පත්තානුමෝදනා දෙක දානයට ද අපචායන වෙය්‍යාවච්ච දෙක ශීලයට ද ඉතිරි පින් තුන භාවනාවට ද සංග්‍ර‍හ කරනු ලැබේ.

ධර්මානුශාසනා

“මා භික්ඛවෙ, පුඤ්ඤානං භායිත්ථ, සුඛස්සෙතං භික්ඛවෙ අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානීති”

තේරුම :

“මහණෙනි, පිනට බිය නොවව්. මහණෙනි, පිනය යනු ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය මනාප වූ සැපයට නමෙකි.”

ඉධ නන්දති පෙච්ච නන්දති

කතපුඤ්ඤො උභයත්ථ නන්දති

පුඤ්ඤං මෙ කතන්ති නන්දති

භීය්‍යො නන්දති සුග්ගතිං ගතො”

තේරුම :

“පින් කළ තැනැත්තේ මෙලොව ද සතුටු වේ. පරලොව ද සතුටු වේ. දෙලොව ම සතුටු වේ. මා විසින් පින් කරන ලද්දේය යි සතුටු වේ. සුගතියට ගියේ වඩාත් සතුටු වේ.”

දශ පුණ්‍ය ක්‍රියා වස්තු විස්තරය නිමියේය.

කර්මයේ විශේෂ විභාග

කර්ම යනු පින් පව් දෙවර්ගයට ම සාධාරණ නාමයෙකි. කර්මයෝ ඔවුන් විසින් සිදු කරන්නා වූ කෘත්‍යයන්ගේ වශයෙන් ද විපාක දෙන ආකාරයාගේ වශයෙන් ද විපාක දෙන කාලයාගේ වශයෙන් ද විපාක දෙන ස්ථානයන් ගේ වශයෙන් ද ප්‍රභේදයට පැමිණෙති.

1. කෘත්‍ය කර්ම චතුෂ්කය

ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය යි කෘත්‍ය වශයෙන් කර්මය සතර වැදෑරුම් වේ.

ජනක කර්මය

මරණින් මතු සත්ත්වයා අන්‍ය භාවයකට පමුණුවා අභිනව පුද්ගලයකු කොට උපදවන්නා වූ කුශලාකුශල කර්මය ජනක කර්මය නම් වේ. තවත් ක්‍ර‍මයකින් කියතොත් අනාගත භවයෙහි ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මය ජනක කර්ම නම් වේ. අංග සම්පූර්ණ වී බලවත් වූ කුශලාකුශලයෝ ජනක කර්ම වෙති. දුර්වල කර්මයෝ ජනක කර්ම භාවයට නො පැමිණෙති. ප්‍ර‍තිසන්ධියක් ගෙන දීමට තරම් ශක්තිය නැති කර්මයෝ, ජනක කර්මයකින් භවයෙහි උපන් සත්ත්වයා හට වරින් වර සැප දුක් ගෙන දෙති. සමහර විට විපාකයක් සර්වාකාරයෙන් ම නොදී අභාවයට යෙති.

සුගති දුර්ගතීන්ට පැමිණවීමේ ශක්තිය ඇති බොහෝ ජනකකර්ම එක් පුද්ගලයකුට ඇත්තේ ය. එයින් එක් වරකට විපාක දෙන්නේ එක් ජනක කර්මයෙකි. ජනකකර්ම බොහෝ ගණනකට එකවර විපාක දීමට අවකාශයක් නැත. සත්ත්වයකු එක් එක් භවයක ජීවත් වන කාලය එක් ජනක කර්මයක විපාකය ලබමින් සිටින කාලය ය. මරණයට පැමිණීමෙන් ඒ භවය කෙළවර වූ කල්හි අන් ජනක කර්මයකට අවකාශ ලැබේ. මරණාසන්න කාලයේ දී ඉදිරිපත් වූ ජනක කර්මයකින් සත්ත්වයා නැවත සුගතියට හෝ දුර්ගතියට පමුණුවනු ලැබේ.

කර්ම බලයෙන් සත්ත්වයා නැවත උපදින ආකාරය

මරණය ළංවූ සත්ත්වයාගේ සිතට අතීත කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙන්නේ ය. කර්ම නිමිත්ත යනු කර්මය කිරීමට උපකාර වූ ද උපකරණ වූ ද වස්තූහු ය. ගති නිමිත්ත යනු මතු උපදින භවය පිළිබඳ වූ යම්කිසි වස්තුවකි. මරණාසන්නයේ දී කර්මාදීන් අතුරෙන් යම් කිසිවක් එළඹ සිටි කල්හි මැරෙන සත්ත්වයාගේ සිත එයට නැමී එය අරමුණු කරමින් පවතී. එසේ පවත්නා කල්හි කාලක්‍රියා කරන සත්ත්වයා ගේ චිත්ත සන්තතිය කර්ම බලයෙන් එළඹ සිටි කර්මයට අනුරූප පරිදි යම් කිසි ස්ථානයක ප්‍ර‍තිසන්ධි චිත්තය ඇතිවීමෙන් භවාන්තරයට පැමිණේ.

විශේෂයෙන් සැලකිය යුතු කරුණක්

මැරෙන්නා වූ සමහර සත්ත්වයන්ට කර්මාදිය මරණයට ඉතා ම ආසන්නයේ දී වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට පැය ගණනක් කල් ඇති ව ද වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට දින දෙක තුනක් තිබිය දී ද වැටහෙන්නේ ය. යමකුට කර්මාදිය තරමක් කලින් වැටහුණ හොත් ඔහු කියන කරන දෙයින් නුවණැතියන්ට ඒ බව තේරුම් ගත හැකිය. මරණාසන්නයේ දී අපායට ගෙන යන කර්මයක් එළඹ සිටි කල්හි නුවණැති හිතවතකුට උත්සාහ කොට ඒ කර්මය යටපත් කොට කුශල කර්මයක් මතුකර දී මැරෙන්නහුට අපායෙන් ගැලවී සුගතියට හා හැකිවන ලෙස සමහර විට පිහිට විය හැකි ය. එසේ කළ හැකි වන්නේ දෙවන ආත්මයේ දී විපාක භවයට පැමිණීමෙහි නියත තත්ත්වයක් නැති කර්ම එළඹ සිටි විට ය. නියත කර්ම හැම දෙනාට ම නැත. බොහෝ සෙයින් මේ සත්ත්වයෝ අනියත කර්ම ඇත්තෝ ය. අනියත කර්මය වුව ද මරණයට ඉතා ලංව තිබිය දී වැටහුණහොත් අනිකකුට පිහිට වීමට ඉඩක් නැත. පිහිට විය හැකි වන්නේ කලින් කර්මාදිය වැටහුණ අයට ය. මිය යන කෙනකුට හිතවතකු විසින් කළ යුතු උසස් ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට සලස්වා දීම ය. එය කළ යුත්තේ මෙසේ ය. මිය යන්නට ළංව සිටින තැනැත්තා කළ පින් ඇත්තේ නම් ඒවා ඔහුට සිහි කළ යුතු ය. ඔහු ඉදිරියේ බුදුරුවක් තබා ඔහු ලවා මල් පහන් හෝ පූජා කරවිය යුතු ය. එසේ කිරීමට රෝගියා නො සමත් වේ නම් ඔහුට පෙනෙන සේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළ යුතු ය. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැලැස්විය යුතුය. ඔහුට ඇසෙන සේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහී තිබුණු පාප කර්මය රෝගියාට අමතක වී කුශලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවන. සිත කුශලයට නැමී තිබෙන අවස්ථාවේ දී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන් සුගතියට පැමිණෙන්නේ ය. මරණාසන්න කාලය හොඳට සිහිය නැති ඉතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා නොසමත් වෙයි. ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කල්‍යාණ මිත්‍රයෙක් ලද හොත් මහත් වාසනාවකි. ඇතැම් දරුවෝ මා පියන් මැරෙන්නට යන කල්හි කෑ කෝ ගස් කලබල කොට මිය යන්නහුට පිනක් සිහි කර ගන්නට ඉඩ නොදී ඔවුනට අපායට යන්නට සලස්වති. එය මා පියන්නට කරන පරම සතුරුකමකි. එබඳු දරුවෝ මා පියන්ගේ සතුරෝය. දරුවන් මැරෙන්නට යන කල්හි ඇතැම් මා පියෝ ද එසේ කරති. ඔවුහු ද දරුවන්ගේ සතුරෝ ය. මැරෙන අවස්ථාවේ දී සුගතියට යෑමට උපකාර වන තැනැත්තා කෙනකුගේ පරම කල්‍යාණ මිත්‍ර‍යා ය.

උපස්තම්භක කර්මය

කුශල වූ හෝ අකුශල වූ හෝ කර්මයකින් උපන් සත්ත්වයාහට ජීවත්වීමට උපකාර වන්නා වූ කුශල වූ ද අකුශල වූ ද කර්ම උපස්තම්භක කර්ම නම් වේ. ප්‍ර‍තිසන්ධියක් දීමට තරම් බලවත් නො වූ කර්මයෝ ද, ප්‍ර‍තිසන්ධියක් දීමට අවස්ථාව එතෙක් නො පැමිණි ජනක කර්මයෝ ද, වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් ජනක කර්මයෝ ද උපස්තම්භක කර්මයෝ වෙති. අකුශල කර්මයන්ගේ උපස්තම්භකය නම් නැවත නැවතත් දුක් විඳවීම සඳහා ජීවත් කරවීම ය. සත්ත්ව සන්තානයට පමණක් නොව කර්මයෝ කර්මයන්ට ම ද උපස්තම්භක වෙති. යම්කිසි කුශල කර්මයක් කළ තැනැත්තා මා විසින් කරන ලදුයේ යහපතක් ය යනාදීන් කළ පින්කම් නැවත නැවත සිහි කොට ප්‍රීති වේ නම් කළ කුශලය ගැන සතුටුවීම් වශයෙන් පසු ව ඇති වන්නා වූ කුශල චේතනාවන්ගේ අනුග්‍ර‍හයෙන් පළමු කර්මය බලවත් වේ. පසු ව ඇති වන්නා වූ ඒ කුශල චේතනාවන්ගෙන් අනුග්‍ර‍හය ලැබූ කුශලය පළමු අල්ප විපාකයක් ඇති කරන දුබල පිනක් ව තුබුණේ ද පසුව උසස් පල දීමට සමත් කුශලයක් වේ. එය කර්මයක් කර්මයකට අනුබල දෙන ආකාරය යි.

උපපීඩක කර්මය

නොයෙක් රෝග ඇති කිරීම, තනතුරුවලින් පහකිරීම, නෑයන් මිතුරන් නැති කිරීම, ධනය නැති කිරීම, කෙත් වතු පාළු කිරීම, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් හානි පැමිණවීම යනාදියෙන් වරින්වර සත්ත්වයාට පීඩා කරන්නා වූ කර්මය උපපීඩක කර්ම නම් වේ. ප්‍ර‍තිසන්ධි දානයට නො සමත් දුබල කර්මයෝ ද, ප්‍ර‍තිසන්ධියක් එතෙක් ඇති නො කළා වූ ජනක කර්මයෝ ද, වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් ජනක කර්මයෝ ද උපපීඩක වශයෙන් විපාක දෙන්නාහු ය. උපපීඩක කර්මයෙන් කලින් බලවත් වූ කර්මයෝ ද දුබල කෙරෙති. බලවත් අකුශලයක් කළා වූ තැනැත්තා විසින් ඒ අකුශලයට විරුද්ධ වූ කුශල් පසු ව බොහෝ කරන ලද්දේ නම්, පසු ව කළා වූ කුශල බලයෙන් කලින් කළ බලවත් අකුශලය දුබල වේ. පසුව කළා වූ කුශලයෝ අකුශල කර්මයට උපපීඩක වෙති.

උපඝාතක කර්මය

ජනක කර්මයක විපාක පරම්පරාව වූ සත්ත්වයා නසන්නා වූ කර්මය උපඝාතක කර්ම නම් වේ. බුදුන් රහතුන් මාපියන් ගුරුන් ආදි ගුණවතුන්ට කරන්නා වූ අපරාධයෝ බොහෝ සෙයින් උපඝාතක කර්ම වෙති. ප්‍ර‍තිසන්ධිය දෙන කල්හි ඔවුහු ම ජනක කර්මයෝ ද වෙති. ඒවායින් ද ඉතා බලවත් වූ කර්මය ම උපඝාතකත්වයකට පැමිණ සත්ත්වයාගේ ජීවිතය නසන්නේ ය. කුශල පක්ෂයේ ද උපඝාතක කර්ම ඇත්තේ ය. නරකයෙහි උපන් පසු කළ පින් සිහි වී ඉන් ච්‍යුත ව දෙව්ලොව උපදනා පුද්ගලයන්ගේ හා පින් ලැබීමෙන් ප්‍රේතත්වයෙන් මිදී සුගතියෙහි උපදනා ප්‍රේතයන්ගේ ද වශයෙන් කුශලෝපච්ඡේදක කර්මය කිය යුතු ය. උපඝාතක කර්මයන්ගෙන් ඇතැමෙක් සත්ත්වයා නසා ජනකත්වයෙන් දෙවන ජාතියේ විපාකත්වයට පැමිණෙති. ඇතැමෙක් උපච්ඡේදනය පමණක් කෙරෙති. මරණාසන්නයේ දී සුගති දුර්ගති නිමිති දක්වමින් කර්මයක විපාක දීම වළක්වා තමාගේ විපාකය දෙන කර්මය ද කර්මයන් නසන්නා වූ උපඝාතක කර්මයකැයි කිය යුතු ය. උපච්ඡේදක කර්ම යනු ද උපඝාතක කර්මයට ම ව්‍යවහාර කරන අන් නමෙකි.

2. පාකදාන පර්‍ය්‍යාය කර්ම චතුෂ්කය

විපාක දීමේ අවස්ථාව ගැනීමේ ශක්තියේ ප්‍ර‍මාණයෙන් ගරු කර්මය, ආසන්න කර්මය, ආචීර්ණක කර්මය, කෘතත්වාත් කර්මය යි කර්මයෝ සතර වැදෑරුම් වෙති.

ගරු කර්මය

මරණින් මතු දෙවන ජාතියේ නො වරදවා ම විපාක දීමේ ශක්තිය ඇත්තා වූ අතිශයින් බලවත් වූ කර්මය ගරු කර්ම නම් වේ. ආනන්තර්‍ය්‍ය කර්ම පස අකුශල පක්ෂයේ ගරු කර්මයෝ ය. රූපාවචරාරූපාවචර ධ්‍යානයෝ කුශල පක්ෂයේ ගරු කර්මයෝ ය.

ආසන්න කර්මය

මරණාසන්නයේ දී කළා වූ ද සිහි කළා වූ ද කර්මය ආසන්න කර්ම නම් වේ. ගරු කර්මයක් නැති තැනැත්තාට ආසන්න කර්මය පළමු කොට විපාක දෙන්නේ ය. බොහෝ පින් කළවුන් සමහර විට දුගතියට පැමිණෙන්නේ ද බොහෝ පව් කළවුන් සමහර විට සුගතියට පැමිණෙන්නේ ද ආසන්න කර්මයාගේ බලයෙනි.

ආචීර්ණක කර්මය

දිනපතා බොහෝ කලක් කළා වූ කර්මයෝ ද, සතියකට වර බැගින් හෝ පක්ෂයකට වර බැගින් හෝ මසකට වර බැගින් හෝ වර්ෂයකට වර බැගින් හෝ දීර්ඝ කාලයක් කළ කර්මයෝ ද, දීර්ඝ කාලයක් සිහි කළා වූ කර්මයෝ ද ආචීර්ණක කර්ම නම් වෙති.

ගරු කර්මයක් හෝ ආසන්න කර්මයක් හෝ නැති තැනැත්තාට දෙවන ජාතියේ ආචීර්ණක කර්මය විපාක දෙන්නේ ය. ආචීර්ණක කර්මය බලවත් වුව ද විපාක දීමේ දී ආසන්න කර්මයට පසු වේ.

කෘතත්වාත් කර්මය

ගරුක, ආසන්න, ආචීර්ණ භාවයට නො පැමිණියා වූ කර්මයෝ කෘතත්වාත් කර්ම නම් වෙති. ඒවා දුබල කර්මයෝ ය. ගරුකාදි කර්ම තුනෙන් එකකුදු නැති කල්හි කෘතත්වාත් කර්මය විපාක දෙන්නේ ය.

3. පාක කාල කර්ම චතුෂ්කය

දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මය,උපපද්‍ය වේද්‍ය කර්මය,අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්මය,අහෝසි කර්මය යි විපාක දෙන කාලයාගේ වශයෙන් කර්මය චතුර්විධ වේ.

දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මය

කළ ජාතියේ දී ම විපාක දෙන්නා වූ කර්ම දෘෂ්ට ධර්ම වේද්‍ය කර්ම නම් වේ. සතර සම්පත්තියෙන් යුක්ත වූ දානමය කුශලය ඒ ජාතියේ දී ම විපාක දෙන්නේ ය. ධාර්මික ශ්‍ර‍මණ බ්‍රාහ්මණාදීන්ට කරන්නා වූ අපරාධයෝ ද සමහර විට ඒ ජාතියේ දී ම විපාක දෙන්නේ ය. දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මය ඉතා බලවත් වූ කල්හි සත් දිනක් ඇතුළත විපාක දෙන්නේ ය. එපමණට බලවත් නො වන කල්හි ඒ ජාතියේ දී කවර අවස්ථාවක දී හෝ විපාක දෙන්නේ ය. බොහෝ කර්මයෝ කල ජාතියේ දී ම විපාක දෙන්නාහු නො වෙති.

උපපද්‍ය වේද්‍ය කර්මය

දෙවන ජාතියේ විපාක දෙන්නා වූ කර්මය උපපද්‍ය වේද්‍ය කර්ම නම් වේ. (ගරු කර්ම වශයෙන් කලින් විස්තර කර ඇත.)

අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්මය

කර්මය කළ ජාතියෙන් තුන්වන ජාතියේ පටන් අවකාශයක් පැමිණි කල කවදා හෝ විපාක දෙන කර්මය අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්මය නම් වේ.

අහෝසි කර්මය

අතීතයේ විපාකයන් නුදුන්නා වූ ද, මතු විපාකයන් නො දෙන්නා වූ ද කුශලාකුශල කර්මයෝ අහෝසි කර්ම නම් වෙති.

කුශල වූ අකුශල වූ හෝ ක්‍රියාවක් සිදු කිරීම් වශයෙන් සත්ත්ව සන්තානයෙහි ඇතිවන්නා වූ එක් එක් චිත්ත වීථියක ජවන නම් වූ බලවත් සිත් සත බැගින් ඇති වේ. ඒවායින් පළමුවන ජවන චිත්තය දෘෂ්ට ධර්මවේද්‍ය කර්ම වේ. සත්වන ජවනය උපපද්‍ය වේද්‍ය කර්මය නම් වේ. මධ්‍යයේ ජවන පස අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්ම නම් වේ. එක් ජාතියක දී එක් පුද්ගලයකුගේ සන්තානයෙහි එබඳු කුශලාකුශල චිත්ත වීථි ගණනක් ඇති වේ. ඒවායේ ඇති ඒ ජාතියේ දී විපාක නුදුන් ප්‍ර‍ථම ජවන චේතනා සියල්ල ම මරණින් පසු අහෝසි කර්ම භාවයට පැමිණේ. එක් ජාතියක දී ඇති වන්නා වූ ඒ වීථිවල ඇති වූ සප්තම ජවන චේතනාවින් දෙවන ජාතියේ දී විපාක දීමට අවකාශය නො ලබන සියල්ල ම ද අහෝසි කර්ම වේ. ඉතිරි චේතනාවෝ නිවනට පැමිණෙන තුරු අහෝසි කර්ම නො වෙති. කල්ප ලක්ෂ ගණනක් ගත වූවාට පසු ව වුව ද අවකාශයක් පැමිණිය හොත් ඒවා විපාක දෙන්නේ ය.

4. පාකස්ථාන කර්ම චතුෂ්කය

අකුශලය, කාමාවචර කුශලය, රූපාවචර කුශලය, අරූපාවචර කුශලය යි විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්ම සතර වර්ගයකි. එයින් අකුශලය සතර අපායෙහි ප්‍ර‍තිසන්ධි විපාක දෙයි. කාම ලෝක රූප ලෝක දෙක්හි ප්‍ර‍වෘත්ති විපාක දෙයි. කාමාවචර කුශලය මිනිස් ලොව, සදෙව් ලොව ප්‍ර‍තිසන්ධි විපාක දෙයි. කාම රූප ලෝක දෙක්හි ම ප්‍ර‍වෘත්ති විපාක ගෙන දෙයි. රූපාවචරාරූපාවචර කුශලයෝ රූපාරූප භූමීන්හි ප්‍ර‍තිසන්ධි ප්‍ර‍වෘත්ති විපාක දෙති. ප්‍ර‍තිසන්ධි විපාක දීමය යනු යම්කිසි භවයක ඉපදවීම ය. ප්‍ර‍වෘත්ති විපාකය යනු ඒ ඒ භවවල උපන් සත්ත්වයාට ලැබෙන විපාකය ය.

සත්ත්වයන් උපදනා ස්ථානයෝ

තම තමන් කළා වූ කර්මවල සැටියට සත්ත්වයන් උපදනා ස්ථාන කාම භූමිය ය, රූප භූමිය ය, අරූප භූමිය යයි තුනෙකි. අපාය භූමි සතර ය,මිනිස් ලොව ය, දෙව්ලෝ සය ය යි කාම භූමි එකොළෙසකි.

එහි අපාය භූමි සතරය යනු නරකය ය, තිරිසන් යෝනිය ය, ප්‍රේත නිකාය ය, අසුර නිකාය ය යන මේවා ය.

1. නරකය

සඤ්ජීව නරකය, කාල සූත්‍ර‍ නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍ර‍තාප නරකය, අවීචි මහා නරකය යි මහා නරක අටකි. ඒවා සතරැස් ය. එක් මහා නරකයක එක් පසකින් සතර බැගින් ඔසුපත් නරක නම් වූ කුඩා නරකයෝ ද වෙති. එක් මහා නරකයක් හාත්පස ඇති කුඩා නරක සොළොසෙකි.

සඤ්ජීව නරකය

යමපලුන් විසින් එහි උපන් සත්ත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කඩ කඩ කොට කපද්දීත් ඒ සත්ත්වයන් නැවත නැවත ජීවත් වන බැවින් ඒ නරකය සඤ්ජීව නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලාහල කළෝ ද, දුබලයන් පෙලූ රජවරු හා නිලධාරීහු ද, දිළින්දන් පෙලූ පොහොසතුන් හා මැරයෝ ද, සතුන් මරන්නෝ ද සඤ්ජීවයෙහි උපදිති.

කාලසූත්‍ර‍ නරකය

උපන් සත්ත්වයන් ගිනියම් වූ යපොළොවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලසූත්‍ර‍ නරකය ය. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළාහු එහි පැසෙති.

සඞ්ඝාත නරකය

මේ නරකයෙහි සත්ත්වයෝ නවයොදුන් ඝන යපොළොවෙහි එරී නිශ්චල ව සිටිති. එහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින්් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඔබ මොබ පෙරළෙති. ඒවාට යටවී සත්ත්වයෝ සුණු විසුණු වෙති. ඇත් අස් ගවාදී සතුන්ට වද දෙමින් වැඩ ගත්තෝ ද සතුන් මැරුවෝ ද එහි උපදිති.

රෞරව නරකය

මේ නරකයෙහි සත්ත්වයන්ගේ සිරුරු තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේ ය. ඇතුළත පිටත දෙක ම දවනු ලැබීමෙන් හඬන නිරි සතුන්ගේ හඬ නිරතුරු ව එහි ඇසෙන බැවින් එයට රෞරව නරකය යි කියනු ලැබේ.

මහා රෞරව නරකය

අතිශයින් රෞද්‍ර‍ වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්ත්වයන්ගේ නිරතුරු පවත්නා මහ හඬ ඇති නිසා ද, නිරිසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකයට මහා රෞරව නරකය යි කියනු ලැබේ. තුනුරුවන් අයත් වූ ද මාපියන් අයත් වූ ද වස්තුව පැහැර ගත්තෝ ද විනාශ කළෝ ද එහි උපදිති.

තාප නරකය

මේ නරකයෙහි යමපලුන් විසින් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා තබනු ලැබූ සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් වෙසෙති. සතුන් පණ පිටින් දවා මැරුවෝ ද අනුන්ගේ ගෙවල් ගිනි තැබූවෝ ද එහි උපදිති.

ප්‍ර‍තාප නරකය

මෙහි ද තාප නරකයෙහි නිරිසතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්ත්වයෝ පැසෙති. මහා තාපන යනු ද මේ නරකයට නමෙකි. මරණින් මතු ඉපදීමක් නැත යයි මිථ්‍යාදෘෂ්ටි ගෙන පව්කම් කළ අය එහි උපදිති.

මහා අවීචි නරකය

මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනික් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන් පත දක්වා නගින්නේ ය. උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා බස්නේය. සත්ත්වයෝ නිතර ම සදිසාවෙන් එන ඒ ගිනි දැල්වලින් වෙළී දැවෙන්නෝ ය. අතරක් නැති ව එහි සත්ත්වයෝ ද වෙසෙති. ගිනි දැල්වලින් හා දුක්වලින් ද සත්ත්වයන්ගේ ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචි නම් වේ.

පඤ්චානන්තර්‍ය්‍ය කර්ම කළෝ ද බෝසතුන් නැසුවෝ ද ගුණවතුන් නැසුවෝ ද චෛත්‍ය බින්දෝ ද පිළිම බින්දෝ ද බෝරුක් නැසුවෝ ද රත්නත්‍ර‍ය අයත් වස්තුව පැහැර ගතුවෝ ද මිත්‍ර‍ ද්‍රෝහීහු ද භාර්යාවන්ට අපරාධ කළෝ ද බොරු කීවෝ ද සුරාපානය කළෝ ද මිසදිටු ගතුවෝ ද එහි උපදිති.

කුඩා නරකයෝ

ගූථ නරකය, කුක්කුල නරකය, අසිපත්‍ර‍ වන නරකය, සිම්බලීවන නරකය යි කුඩා නරක සතර වර්ගයක් ඇත්තේ ය. ගූථ නරකය, යනු කැකෑරුණු අසුචියෙන් පිරුණු, එහි පතිත වූ නිරිසතුන්ගේ ශරීර ඇට මිදුළු දක්වා විදින හුන ගස්, පොල් ගස්, තල් ගස් පමණ මහත් වූ පණුවන් ගැවසී ගත් තැනෙකි. කුක්කුල නරකය යනු යටින් ගිනි අඟුරු ඇති අලුයෙන් පිරුණු තැනකි. අසිපත්‍ර‍ වන නරකය යනු කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් හා දැලිපිහියා මෙන් කැපෙන කොළ ඇති තණ ද ඇති නරකයෙකි. සිම්බලීවන නරකය යනු දොළොස් අඟුල් කටුවින් ගැවසුණු ඉඹුල් වනයක් ඇති තැනකි. තවත් නොයෙක් ආකාර නරකයන් ඇති බව ද දක්වා තිබේ.

ලෝකාන්තරික නරකය

ලෝකාන්තරික නරකය යනු මහත් වූ ශීත නරකයෙකි. එය හැම කල්හි ම ගනඳුරින් වැසී තිබේ. එහි පත්ලෙහි අතිශයින් ශීතල ජලය ඇත්තේ ය. නිරිසත්තු වවුලන් සේ පර්වතවල එල්ලී ඔබමොබ යති. ඔවුහු තවත් සත්ත්වයකු දුටු කල්හි ආහාරයකැ යි සිතා අල්ලා ගැනීමට තැත් කෙරෙති. එයින් දෙදෙනාම පර්වතයෙන් ගිලිහී දියට වැටෙති. එහිදී හුණු තෙල්හි ලූ පිටි බැදෙන්නක් මෙන් ඔවුන්ගේ ශරීරයෝ පුපුර පුපුරා ශීතලයෙන් බැදෙති.

2. තිරිසන් අපාය

මිනිස් ඇසට නො පෙනෙන තරම් ඉතා කුඩා සත්ත්වයාගේ පටන් යොදුන් ගණනක් ඇති සත්ත්වයන් දක්වා සිටින, පා නැත්තා වූ ද, දෙපා ඇත්තා වූ ද, සිව් පා ඇත්තා වූ ද, බොහෝ පා ඇත්තා වූ ද නොයෙක් සටහන් නොයෙක් ආකාර ඇත්තා වූ ද තිරිසන් සත්ත්ව සමූහය ම තිරිසන් අපාය ය. නරකය මෙන් ඔවුන්ට වෙන් වූ තැනක් නැත. ඔවුහු උපනුපන් ඒ ඒ තැන්වල ම ඔවුනොවුන් කා ගනිමින් කිසි පිළිසරණක් නැති ව නිරතුරු බියෙන් ත්‍ර‍ස්ත ව ජීවත් වෙති.

3. ප්‍රේත අපාය

මිනිසුන්ගේ ප්‍ර‍කෘති ඇසින් නො දැකිය හැකි ධාතු වර්ගයකින් නිර්මිත වූ නොයෙක් ප්‍ර‍මාණ ඇත්තා වූ නොයෙක් සටහන් ඇත්තා වූ ද නොයෙක් ආකාර දුක් ඇත්තා වූ ද සත්ත්ව කොට්ඨාසයට ප්‍රේතාපාය යයි කියනු ලැබේ. ඔවුනට ද භූමියක් වශයෙන් නියම තැනක් නැත. ප්‍රේතයෝ බොහෝ සෙයින් අතිශයින් කෘශ වූ ඇට නහර මතු වී ඇති බඩේ සම පිට කටුවේ ඇලී ඇත්තා වූ දුටුවන්ට අප්‍රිය වූ ශරීර ඇත්තෝ ය. සාගින්න නිවෙන පමණට ආහාර ද පිපාසාව සන්සිඳෙන පමණට පැන් ද ඔවුහු නො ලබති. එහෙත් අකුශල බලයෙන් ඔවුහු බොහෝ කල් ජීවත් වෙති. ඔවුන් ගෙන් ඇතැමෙක් කවදාවත් ආහාර පාන නො ලබති. ඇතැම්හු මිනිසුන්ගේ සෙම් සොටු ආහාර කොට ගනිති. ඇතැම්හු මිනිසුන්ගේ හා තිරිසනුන්ගේ අසූචි ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු මළකුණු ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු මිනිසුන් ඉවත ලන බත්හුලු ආදිය ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු තමන්ගේ ශරීරය ම සූරා කන්නෝ ය. ඇතැම්හු ඔවුනොවන්ගේ වන පිලිකාවලින් ගලන ලේ සැරව ආහාර වශයෙන් ගන්නෝ ය. මෙසේ ප්‍රේතයෝ නින්දිත ආහාර ඇත්තෝ ය. ඔවුන්ගෙන් ඇතැමෙක් සැප දුක් දෙක මාරුවෙන් මාරුවට ලබන්නෝ ය.

4. අසුරාපාය

අසුර යන නාමයෙන් දේව ගණයට අයත් කොටසක් ද ඇත්තේ ය. බෞද්ධ පොත්වල චේපචිත්ති අසුර, පහාරාද අසුර යනාදි නම් වලින් දැක්වෙන්නෝ දේව ගණයට අයත් අසුරයෝ ය. ඔවුහු දෙවියන් මෙන් ම සැප ඇත්තෝ ය. අසුර යන නාමය ව්‍යවහාර කරන ප්‍රේතයන් වැනි දුඃඛිත සත්ත්ව කොට්ඨාසයක් ද ඇත්තේ ය. අසුරාපාය යනු ඒ සත්ත්ව සමූහය ම ය. ඔවුහු ද ප්‍රේතයන් මෙන් ම නොයෙක් ආකාර ශරීර ඇත්තෝ ය.

සප්ත කාම ස්වර්ගය

මිනිස් ලොව ය, චාතුර් මහා රාජිකය, තාවතිංසය, යාමය, තුෂිතය, නිර්මාන රතිය, පරනිර්මිත වශවර්තිය යන මේ ස්ථාන සත දානාදි පින් කම් කළවුන් උපදනා සප්ත කාම ස්වර්ගය ය. එහි සයක් දිව්‍ය ලෝකයෝ ය. දිව්‍යලෝක වනාහි මිනිස් ඇසින් දැකිය නොහෙන, මිනිස් කයින් ස්පර්ශ කළ නොහෙන, ධාතු වර්ගයකින් නිර්මිත, ශෝභන විමානයන් හා මරණ බිය පවා අමතක වන තරමේ ප්‍රියංකර භාවයක් ඇති උයන් පොකුණු ආදියෙන් යුක්ත වූ පරම රමණීය ස්ථානයෝ ය. ඒවායින් ප්‍ර‍යෝජන ලැබිය හැක්කේ දෙවියන්ට ම ය. දිව්‍යලෝකවල උපදනා දෙවියෝ වනාහි මිනිසුන් මෙන් කලක් මව් කුසයේ වැස හඬ හඬා දුකින් ඉපිද ක්‍ර‍මයෙන් වැඩෙන්නා වූ සත්ත්ව කොටසක් නොව සර්වාංග ප්‍ර‍ත්‍යඞ්ගයන්ගෙන් සම්පූර්ණ ව පහළවීම් වශයෙන් උපදනා සත්ත්ව කොට්ඨසයකි. ඔවුන්ගේ ජරාවක් ද නැත්තේ ය. ඔවුන්ගේ ආයුෂ ද ඉතා දිගය. ඔවුන්ගේ වස්ත්‍රාභරණ පරණ වන්නේ ද කිලිටි වන්නේ ද නො වේ. ඔවුනට ආහාරපාන සැපයීමට වෙහෙසීමක් ද නැත. දිව්‍ය ස්ත්‍රීහු දරුවන් නො වදති. දරුවන් වැදීමේ, දරුවන් පෝෂණය කිරීමේ කරදරය ඔවුනට නැැැත. ඔවුහු සෑම කල්හි ම නැටුම් ගැයුම් ආදියෙන් සිත් පිනවමින් වෙසෙති. අපාය සතරය, මිනිස් ලොවය, දිව්‍ය ලෝක සයය යන මේ එකොළොස් භූමියට කාම භූමිය යි කියනු ලැබේ.

රූපාවචර භූමිය

රූපාවචර භූමි සොළොසකි. බ්‍ර‍හ්මපාරිසජ්ජය, බ්‍ර‍හ්ම පුරෝහිතය, මහාබ්‍ර‍හ්මය යන මේ භූමි තුන ප්‍ර‍ථම ධ්‍යාන භූමි නම් වේ. රූපාවර ප්‍ර‍ථම ධ්‍යානය ලැබුවෝ ඒවායේ උපදිති. පරිත්තාභය, අප්පමාණාභය, ආභස්සරය යන තුන ද්විතීය ධ්‍යාන භූමි නම් වේ. රූපාවචර ද්විතීය ධ්‍යානය ලැබුවෝ ඒවායේ උපදිති. පරිත්තසුභය, අප්පමාණසුභය, සුභකිණ්හය යන මේ තුන තෘතීයධ්‍යාන භූමි නම් වේ. රූපාවචර තෘතීය ධ්‍යානලාභීහු ඒවායේ උපදිති. වේහප්ඵලය, අසංඥ සත්ත්වය, ශුද්ධාවාසය යන මේවා චතුර්‍ථධ්‍යාන භූමිහු ය. අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සිය, අකනිට්ඨය යි ශුද්ධාවාස භූමි පසෙකි. චතුර්ථධ්‍යාන ලැබූ අනාගාමී හු ශුද්ධාවාස භූමිවල උපදිති. අසංඥ සත්ත්වය යනු සිත නැති කය පමණක් ඇති සත්ත්වයන්ගේ භූමියකි.

අරූපාවචර භූමි

ආකාසානඤ්චායතන භූමිය ය, විඤ්ඤාණඤ්චායතන භූමිය ය, ආකිඤ්චඤ්ඤායතන භූමිය ය, නේවසඤ්ඤා නාසඤ්ඤායතන භූමිය යයි අරූපාවචර භූමි සතරෙකි. ඒවායේ වෙසෙන සත්ත්වයනට සිත මිස කයක් නැත. අරූපාවචර ධ්‍යානලාභීහු ඒවායේ උපදිති. කාමාවචර භූමි එකොළොස ය, රූපාවචර භූමි සොළොස ය, අරූපාවචර භූමි සතරය යි සත්ත්වයන් උපදනා භූමි එක්තිසෙකි.

සංසාරය

“ඛන්ධානඤ්චෙව පටිපාටි - ධාතු ආයතනානි ච

අබ්බොච්ඡින්නං වත්තමානං - සංසාරොති පවුච්චති”

මෙය අටුවාවල එන සංසාරය හඳුන්වන ගාථාවකි. “ස්කන්ධයන්ගේ ද ධාතුන්ගේ ද ආයතනයන්ගේ ද පරම්පරා වශයෙන් නො සිඳී පැවැත්ම සංසාරය යි කියනු ලැබේ”. යනු එහි තේරුමයි. සංසාරය කුමක් දැයි තවත් ක්‍ර‍මයකින් කියත හොත් ජාතියෙන් ජාතිය නැවත නැවත උපදනා සත්ත්වයන්ගේ ජාති පරම්පරාව හෙවත් භව පරම්පරාව සංසාරය යි කිය යුතු ය. ලෝකයෙහි අනන්ත සත්ත්වයෝ ඇත්තාහ. ඔවුන්ගේ සංසාරයේ පටන් ගැනීමක් නැත්තේ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො පුබ්බාකෝටි න පඤ්ඤායති” යි වදාරන ලද්දේ ය. “මහණෙනි, මේ සංසාරය නො දක්නා ලද අක් ඇත්තේ ය. එහි මුල පටන් ගැනීම නො පෙනෙන්නේ ය.” යනු එහි තේරුම ය. එසේ වදාරන ලදුයේ සංසාරයාගේ පටන් ගැනීම වූ මුල් කොන තිබියදී ම තථාගතයන් වහන්සේට එය නොපෙනෙන නිසා නොව සංසාරයා ගේ මුල් කොනක් නැති නිසා ය. නැති දෙයක් කෙසේ පෙනිය හැකි ද? නො හැකි ම ය.

මුල් කොනක් නැත්තා වූ මේ සංසාරය ඉතා දීර්ඝ බැවින් එක් එක් සත්ත්වයකු විසින් අතීතයේ නූපන් ජාතියක් නැත. එක සත්ත්වයකු එක් එක් ජාතියක උපන් වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. සංසාරය අති දීර්ඝ බැවින් මේ මහ පොළොවෙහි එක් එක් සත්ත්වයකු විසින් නූපන් තැනක් ද නො සිටි තැනක් ද නො මළ තැනක් ද මළ සිරුර නොදැමූ තැනක් ද නැත.

තමා මළ කල්හි මළ සිරුර දැමීමට අනෙකකුගේ මළසිරුරක් නොදැමූ ශුද්ධ ස්ථානයක් වශයෙන් තැනක් නියම කරගෙන සිටියා වූ උපසාළ්හක නම් බමුණා හට තථාගතයන් වහන්සෙ මෙසේ වදාළ සේක.

“උපසාළ්හක නාමානං - සහස්සානි චතුද්දස

අස්මිං පදෙස දඩ්ඪානි - නත්ථි ලොකෙ අනාමතං”

මේ ප්‍රදේශයෙහි උපසාළ්හක යන නම ඇතියවුන් ගේ මළ සිරුරු ම තුදුස් දහසක් දවා තිබේ. ලෝකයෙහි නොමළ තැනක් නම් නැතය යනු එහි අදහස යි.

ඉතා දීර්ඝ වූ මේ සංසාරයෙහි එක් එක් සත්ත්වයකුගේ මව නො වූ සත්ත්වයෙක් ද පියා නො වූ සත්ත්වයෙක් ද සහෝදරයකු නො වූ සත්ත්වයෙක් ද සහෝදරියක නො වූ සත්ත්වයෙක් ද පුත් නො වූ සත්ත්වයෙක් ද දූ නොවූ සත්ත්වයෙක් ද සුලභ නො වෙත් යයි බුදුන් වහන්සේ වදාළ සේක.

තවද අනවරාග්‍ර‍ සංසාරයෙහි එක් සත්ත්වයකු විසින් බිව් මව් කිරි ද, හැඬූ කඳුළු ද, අනුන් විසින් හිස කපනු ලැබීමෙන් ගැලූ ලේ ද යන මේ එක එකක් ම සාගර ජලයට අධික බව ද තථාගතයන් වහන්සේ වදාළ සේක.

තවද සංසාරය ඉතා දීර්ඝ බැවින් දිළිඳු වූ විරූප වූ කෙනකු දුටු කල්හි මම ද මේ දීර්ඝ වූ සංසාරයෙහි මෙසේ විසුයෙමැයි ද අලංකාරයෙන් සැරසී සිටින සැප ඇති කෙනකු දුටු කල්හි මම ද පෙර මෙබඳු සැප ලැබුවෙමි යි ද නිශ්චයට පැමිණිය යුතු බව ද තථාගතයන් වහන්සේ වදාළ සේක.

සසර සැරිසරන්නා වූ සත්ත්වයන් සුගතියෙහි ද උපදින නුමුත් බොහෝ සෙයින් උපදින්නේ දුගතියෙහි ය. එ බැවින් ඔවුනට සතර අපාය සිය නිවෙස බඳු ය. එක් එක් සත්ත්වයකු විසින් වර්ෂ සිය ගණනකට වරකුදු පිපාසාව සන්සිඳෙන පමණට පැනක් හා කුසගින්න සන්සිඳෙන පමණට අහරක් ද නො ලැබ ඉතා දුකසේ කල් යවන ප්‍රේත ව අතීතයෙහි උපන් වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය. භයානක රූප ඇති යම රකුසන් විසින් වෑ පොරෝ වලින් කපමින් යහුල්වලින් හනිමින් ගිනියම් වූ ලොහො ගුලි ලෝදිය මුව බහාලමින් අපමණ දුක් දෙන සඤ්ජීවාදි නරකවල උපන් වාරයන්ගේ ප්‍ර‍මාණයක් නැත්තේ ය. නිවනට නො පැමිණ සසර රැඳුන හොත් සත්ත්වයාට මතු ද එසේ ම කටුක දුක් බොහෝ විඳින්නට සිදු වන්නේ ය. කරුණු මෙසේ හෙයින් සසර රැඳී සිටීමේ භයානකත්වය කියා නිම කළ නොහේ. ඒ බව දත් බුද්ධාදි උත්තමයෝ සංසාර බන්ධනය සිඳ සසරින් එතර ව නිවන් පුරයට පිවිසුනාහු ය. දුකින් මිදෙනු කැමැත්තෝ ඒ නිවනට පැමිණීමට උත්සාහ කරත්වා!

නිර්වාණය

ලෝකයෙහි ආගම් අදහන්නා වූ සෑම දෙනා හට ම ඒ ඒ ආගම්වලට අනුව පිළිවෙත් පිරීමෙන් ලබන්නට බලාපොරොත්තු වන සියල්ලට ම උසස් වූ දෙයක් ඇත්තේ ය. ඒවා සත්‍ය වශයෙන් ඇත්තා වූ දේවල් හෝ සත්‍ය වශයෙන් නැති පරිකල්පිත ඒවා හෝ විය හැකි ය. බුද්ධාගමය අනුව පිළිපැදීමෙන් බෞද්ධයන් විසින් බලාපොරොත්තු වන උසස් ම දෙයට නිර්වාණය යි කියනු ලැබේ. ඒ නිවන වනාහි දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකාදිය වැනි සත්ත්වයන්ගේ වාසස්ථානයක් හෝ පැහැයක් සටහනක් ඇති වස්තුවක් හෝ නොව එක්තරා සුඛ ස්වභාවයකි. එය නුවණ මඳ අයට තේරුම් ගත නො හෙන ලෝකෝත්තර මාර්ගඵලයන්ට පැමිණියවුන්ට පමණක් ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැනෙන්නා වූ සෙසු නැණවතුන්ට අනුමාන වශයෙන් සිතා ගත හැකි වූ ගැඹුරු වූ සූක්ෂ්ම වූ ස්වභාවයකි. එය පරණ වීමෙන් නරක් වන්නා වූ හෝ නැති වන්නා වූ හෝ දෙයක් නොව සැම කල්හි ම නො වෙනස් ව පවත්නා ස්වභාවයකි.

මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝකාදියෙහි ඇති සැප වනාහි ලැබූ පසු සැණෙකින් ම නැති වන බැවින් නැවත නැවත ලබා ගැනීම සඳයා නැවත නැවත වෙහෙසෙන්නට සිදුවන්නේ ය. ඒවායින් යම්කිසි සැපයක් නොනැසී කලක් පැවතුන හොත් එය සත්ත්වයාට එපා වෙයි. එය ම ඔහුට දුක් වේ. නිවන් සැපය වනාහි ලැබූ පසු නැවත නැති නො වන බැවින්, නැවත නැවත සොයන්නට නො වෙහෙසිය යුතු වූ ද කොතෙක් පරණ වුවත් එපා වීමක් නැත්තා වූ ද වටිනාකම පමණ කළ නො හෙන්නා වූ ද සුවයෙකි.

සැපය වේදයිත සුඛය ය, විමුක්ති සුඛය යයි දෙ වැදෑරුම් වේ. ඉෂ්ඨ රූප ශබ්දාදිය නිසා චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ගේ ආධාරයෙන් ලබන්නා වූ සැපය හෙවත් ආස්වාදය වේදයිත සුඛ නම් වේ. පවත්නා වූ ද මතු ඇති විය හැකි වූ ද යම්කිසි කරදරයකින් දුකකින් මිදීම විමුක්ති සුඛය යි. වේදයිත සුඛය සැණෙකින් නැතිවන්නක් බැවින් ද පරණ වීමෙන් එපා වන්නක් බැවින් ද තථාගතයන් වහන්සේ විසින් දුක් කොටසට ම ඇතුළත් කර වදාරණ ලද්දකි. සුවයක් වුව ද වහා නැසෙන ඒ සුවය සිහිනයක් බඳු නො වටනා දෙයකි. විමුක්ති සුඛය වනාහි වටිනා සුඛයකි. එහි වටිනාකම ප්‍ර‍මාණ කළ යුත්තේ නිදහස් වන්නා වූ දුකේ ප්‍ර‍මාණයේ සැටියට ය. නිදහස් වන්නා වූ දුක යම් පමණ මහත් වේ නම් එහි නිදහස් වූ සුවය එපමණ ම වටනේ ය. මරණය මහා දුක්ඛයෙකි. එබැවින් සත්ත්වයෝ මරණයෙන් නිදහස් වනු පිණිස සැම දෙයක් ම පරිත්‍යාග කරති. එසේ පරිත්‍යාග කරනුයේ එය වටිනා බැවිනි.

නිවනට නො පැමිණ සිටින සත්ත්වයා හට අනාගතයේ දී ලබන්නට වන ජාති ජරා ව්‍යාධි මරණයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. සතර අපායට වැටීමෙන් ලබන්නට වන දුක්වල ප්‍ර‍මාණ්‍යක් ද නැත. නිවනය යනු ඒ සියල්ලෙන් ම මිදීම වූ සුඛය ය. එක මරණයක නිදහසේ වටිනාකම ම ප්‍ර‍මාණ නො කළ හැකි කල්හි අනන්ත දුඃඛයන්ගෙන් මිදීම වූ නිවන් සුවයේ වටිනාකම උසස් බව කෙසේ ප්‍ර‍මාණ කළ හැකි වේ ද? නො වේ ම ය.

තුන්තරා බෝධිය

නිවන් ලැබිය හැකි වනුයේ ආර්‍ය්‍ය මාර්ගඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍ර‍ත්‍යක්ෂ කිරීමෙනි. චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍ර‍ත්‍යක්ෂ කරන්නා වූ ලෝකෝත්තර මාර්ගඥානයට බෝධියයි කියනු ලැබේ. එය සම්‍යක්සම්බෝධිය ය, ප්‍රත්‍යේක සම්බෝධිය ය ය, ශ්‍රාවකබෝධිය යයි තෙවැදෑරුම් වේ.

එයින් ලොවුතුරා බුදුවරයන් විසින් ලබන්නා වූ සර්වඥත්වාදි අනේක ගුණයන්ට ආධාර වූ ලෝකෝත්තර මාර්ග ඥානය සම්‍යක් සම්බෝධි නමි. පසේ බුදුවරයන් විසින් ලබන්නා වූ ලෝකෝත්තර මාර්ග ඥානය ප්‍රත්‍යේක සම්බෝධි නමි. බුද්ධ ශ්‍රාවකයන් විසින් ලබන්නා වූ ලෝකෝත්තර මාර්ග ඥානය ශ්‍රාවක බෝධි නමි.

සම්බෝධියට පැමිණීම සඳහා පිළිවෙත් පුරන්නා වූ සත්පුරුෂයෝ බෝධිසත්ත්ව නම් වෙති. බෝධි තුනක් වන බැවින් බෝධීන්ගේ වශයෙන් බෝධිසත්ත්වයෝ ද තිදෙනෙක් වෙති. ලොවුතුරා බුදු බව සඳහා පෙරුම් පුරන තැනැත්තේ මහා බෝධිසත්ත්ව නමි. පසේ බුදු බව සඳහා පෙරුම් පුරන තැනැත්තේ ප්‍රත්‍යේක බෝධිසත්ත්ව නමි. ශ්‍රාවක බෝධිය සඳහා පෙරුම් පුරන තැනැත්තේ ශ්‍රාවක බෝධිසත්ත්ව නමි.

බෝධිසත්හු වනාහි ප්‍ර‍ඥාධිකයෝ ය, ශ්‍රද්ධාධිකයෝ ය, වීර්‍ය්‍යාධිකයෝ ය යි තුන් කොටසක් වෙති. ඔවුන් අතුරෙන් ප්‍ර‍ඥාධික මහා බෝධිසත්ත්වයෝ සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුද්ධත්වයට පැමිණෙති. ශ්‍ර‍ද්ධාධික මහාබෝධි සත්ත්වයෝ අෂ්ටාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුවෙති. වීර්‍ය්‍යාධික මහාබෝධි සත්ත්වයෝ සොළොස් අසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සම්බුද්ධත්වයට පැමිණෙති. ප්‍රත්‍යේක බෝධිසත්ත්වයන් අතුරෙන් ප්‍ර‍ඥාධිකයෝ ද්වයාසංඛ්‍යකල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුද්ධත්වයට පැමිණෙති. සෙස්සෝ ද්වයා සංඛ්‍ය කල්ප ලක්ෂයකට මඳක් වැඩි කාලයක් පෙරුම් පුරා බුද්ධත්වයට පැමිණෙති. බුද්ධ ශ්‍රාවකයෝ වනාහි අග්‍ර‍ ශ්‍රාවකයෝ ය, මහා ශ්‍රාවකයෝ ය, ප්‍ර‍කෘති ශ්‍රාවකයෝ ය යි තුන් කොටසකි. අග්‍ර‍ශ්‍රාවකත්වයට පැමිණෙන්නවුන් විසින් ඒකාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතුය. මහා ශ්‍රාවකයන් විසින් කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතුය. ප්‍ර‍කෘති ශ්‍රාවකයන්ගේ පෙරුම් පිරීම පිළිබඳ කාල නියමක් නැත්තේ ය.

දශ පාරමිතාව

සම්බෝධියට පමුණුවන කුශලයෝ පාරමිතා නම් වෙති. ලෞකික සම්පත් පතා කරන කුශලයෙන් ලෞකික සම්පත් ම ලබා දෙනු මිස සම්බෝධියට නො පමුණුවනු ලැබේ. එ බැවින් ඒ කුශලයෝ පාරමී සංඛ්‍යාවට නො ගැනෙති. සම්බෝධිය හෝ නිවන හෝ පතා කරන කුශලයෝ පාරමී සංඛ්‍යාවට යෙති.

දානං සීලඤ්ච නෙක්ඛම්මං - පඤ්ඤා විරියෙන පඤ්චමං

ඛන්ති සච්චමධිට්ඨානං - මෙත්තුපෙක්ඛාතිමා දස

යනුවෙන් දැක්වෙන පරිදි දාන පාරමිතාවය, ශීල පාරමිතාවය, නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාවය, ප්‍ර‍ඥා පාරමිතාවය, වීර්‍ය්‍ය පාරමිතාවය, ක්ෂාන්ති පාරමිතාවය, සත්‍ය පාරමිතාවය, අධිෂ්ඨාන පාරමිතාවය, මෛත්‍රී පාරමිතාවය, උපේක්ෂා පාරමිතාවය යි පාරමිතා දසයෙකි.

1. දාන පාරමිතාව

සම්බෝධිය පතා තමා අයත් වස්තුව දන්දීම දාන පාරමිතාව ය. දන් දීම ගැන විස්තර ඉහත දානය විස්තර කිරීමේදී දක්වා ඇත. ලොවුතුරා බුදු බව සඳහා දාන පාරමිතාව පුරන්නවුන් බාහිර වස්තුව දන්දීම ම ප්‍ර‍මාණ නො වේ. එය ලබනු කැමතියන් විසින් අඹුදරුවන් ද, ලේ මස් ආදී ශරීරාවයවයන් ද, ජීවිතය ද පරිත්‍යාග කළ යුතු ය. අප මහා බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව වර්ණනා කරන ගාථාවක් මෙසේ ය.

“සෝ සාගරෙ ජලධිකං රුධිරං අදාසි

භූමිං පරාජිය මංසමදාසි දානං

මේරුප්පමාණ මධිකඤ්ච සමොලි සීසං

ඛෙ තාරකාදිකතරං නයනං අදාසි.”

“උන් වහන්සේ සාගරයේ ජලයට ද වඩා ලේ දන් දුන් සේක. මහ පොළොව පරදවා මස් දන් දුන් සේක. ගොඩ ගැසුව හොත් මහ මෙරට ද අධික ව ඔටුනු සහිත හිස් දන් දුන් සේක. අහසේ තරුවලට වඩා ඇස් දන් දුන් සේක” යනු එහි තේරුම ය.

2. ශීල පාරමිතාව

සම්බෝධිය පතා පුරන චාරිත්‍ර‍ වාරිත්‍ර‍ ශීලයෝ ශීල පාරමිතාව ය. ශීලයන් පිළිබඳ විස්තරය ද ඉහත දක්වා ඇත.

3. නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව

සම්බෝධිය පතා වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙන් බැහැර වීම නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව ය. කාමයන්ගේ ආදීනවය බලා ගිහිගෙය හැර පැවිදි වීම වස්තු කාමයෙන් බැහැර වීම ය. පැවිදි ව මහණ දම් පුරා ලෝභය දුරු කිරීම ක්ලේශ කාමයෙන් බැහැර වීම ය.

4. ප්‍ර‍ඥා පාරමිතාව‍

නාම රූපයන්ගේ හෙවත් ස්කන්ධාදි ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ හා විශේෂ ලක්ෂණ දක්නා ඥානය ප්‍ර‍ඥා පාරමිතාව ය. අනිත්‍ය ලක්ෂණය දුඃඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය යන තුන නාම රූප සියල්ලේ ම ලක්ෂණ බැවින් ඒවා සාමාන්‍ය ලක්ෂණයෝ ය. එක් එක් ධර්මයකට පමණක් අයත් ලක්ෂණයෝ විශේෂ ලක්ෂණයෝ ය. අභිධර්මය උගෙනීමෙන් නාම රූප ධර්මයන්ගේ ලක්ෂණ දන්නා ඥානය ඇති කර ගත හැකි ය. සත්පුරුෂ සේවන, සද්ධර්ම ශ්‍ර‍වණාදිය ද ප්‍ර‍ඥාව ලැබීමේ හේතු ය. ප්‍ර‍ඥාව ඇති කර ගත යුතු අයුරු මෙසේ දක්වා තිබේ.

“සෙවෙථ වුද්ධෙ නිපුණෙ බහුස්සුතේ

උග්ගාහකො ච පරිපුච්ඡකො සියා

සුණෙය්‍ය සක්කච්ච සුභාසිතානි

එවං කරො පඤ්ඤවා හොති මච්චො.”

“මහලු උගත් සියුම් නුවණැතියන් සේවනය කරව්. ධර්මය උගන්නා වූ ද නො දත් අර්ථය දන්නවුන්ගෙන් නැවත නැවත විචාරන්නා වූ ද කෙනෙක් වන්නේ ය. සුභාෂිතයෙන් මනා කොට අසන්නේ ය. මෙසේ කරන මිනිස් තෙම නුවණැතියෙක් වන්නේ ය” යනු එහි තේරුම ය.

5. වීර්‍ය්‍ය පාරමිතාව

සම්බෝධිය පිණිස ආත්මාර්ථ පරාර්ථ සාධනයේ නො පසු බස්නා ස්වභාවය වීර්‍ය්‍ය පාරමිතාව ය. කරගෙන යන්නා වූ ආත්මාර්ථ පරාර්ථ සාධක ක්‍රියා නැවැත්වීමට හේතු පැමිණීමෙන් නො නවත්වා ඉදිරියට කරගෙන යෑමෙන් වීර්‍ය්‍ය පාරමිතාව පිරෙන්නේ ය.

6. ක්ෂාන්ති පාරමිතාව

අව් වැසි සුළං ආදියෙන් වන පීඩා ද, ආහාරපානාදි වුවමනා දේ නො ලැබීමෙන් වන පීඩා ද, මැසි මදුරු ආදි සතුන්ගෙන් වන පීඩා ද, සතුරන්ගෙන් වන පීඩා ද, ඉවසන ස්වභාවය ක්ෂාන්ති පාරමිතාව ය. පීඩා පැමිණි කල්හි ඒවා ඉවසීමට නො සමත් තැනැත්තේ පළිගැනීම පිණිස හෝ ආත්මාරක්ෂාව පිණිස හෝ අනුන්ට පීඩා කරයි. පීඩා නිසා කරගෙන යන්නා වූ ද, මතු කරන්නට බලාපොරොත්තු වන්නා වූ ද ආත්මාර්ථ පරාර්ථ සාධක පුණ්‍ය ක්‍රියා හැර දමයි. එය පීඩනය නිසා වෙනසකට පැමිණීම ය. එබඳු වෙනසකට නො පැමිණීම ඉවසීම ය. එසේ ඉවසීමෙන් ක්ෂාන්ති පාරමිතාව පිරෙන්නේ ය.

“යො හවෙ බලවා සන්තො - දුබ්බලස්ස තිතික්ඛති

තමාහු පරමං ඛන්තිං - නිච්චං ඛමති දුබ්බලො.”

යමෙක් තමා බලවත් ව සිට දුබලයාගේ වරද ඉවසත් නම් එය උතුම් ඉවසීම ය. දුබලයා නිතර ම ඉවසන්නේ ය යනු එහි අදහසයි.

7. සත්‍ය පාරමිතාව

බොරු පොරොන්දු වීම්, නැති ගුණ පැවසීම්, වරද සැඟවීම් ආදිය සඳහා බොරු කීමෙන් වැළකීම සත්‍ය පාරමිතාව ය. සත්‍යය ශීලයට ම ඇතුළත් වතුදු බෝසතුනගේ විශේෂ ගුණයක් වන බැවින් එය වෙන් වූ පාරමිතාවක් සැටියට ගනු ලැබේ. මහාබෝධි සත්ත්වයෝ සත්‍යය සැම කල්හි ම රක්ෂා කරති.

8. අධිෂ්ඨාන පාරමිතාව

කළ යුතු දෙයක් කරමි කියා ද, නො කළ යුතු දෙයක් නො කරමි කියා ද, මතු වෙනස් නො කරන ලෙස සිතා ගැනීම අධිෂ්ඨාන පාරමිතාව ය. අධිෂ්ඨාන පාරමිතාව පුරන තැනැත්තා කරන්නට සිතා ගත් දෙය හැර දමා අනිකක් පටන් නො ගත යුතු ය. නො කරමියි කියා හළ දෙය ද නැවත කිනම් කරුණක් නිසාවත් නො කළ යුතු ය.

9. මෛත්‍රී පාරමිතාව

අන්‍යයන්ගේ යහපතට සැපයට කැමති බව වූ මෛත්‍රිය, මෛත්‍රී පාරමිතාව ය. මෙත් වැඩීමෙන් හා අන්‍යයන්ට හිත වූ ක්‍රියා කිරීමෙන් ද මෛත්‍රී පාරමිතාව පිරේ. මෛත්‍රී පාරමිතාව කළ යුතු සැටි ඉහත දක්වා ඇත.

10. උපේක්ෂා පාරමිතාව

නො මනා වස්තූන්ට හා පුද්ගලයන්ට විරුද්ධ නො වීම් වශයෙන් ද ඇලුම් කළ යුතු වස්තූන්ට හා පුද්ගලයන්ට ඇලුම් නො කිරීම් වශයෙන් ද පවත්වන මධ්‍යස්ථතාව උපේක්‍ෂා පාරමිතාව ය.

සමතිස් පාරමිතාව

කියන ලද පාරමිතා දශය අතුරෙන් එක එකක් පාරමිතාය, උප පාරමිතාය, පරමත්ථ පාරමිතාය යි තුන් තුන් ආකාර වේ. පුත්‍ර‍දාරාවන් හා බාහිර වස්තූන් පරිත්‍යාග කිරීම දාන පාරමිතා නමි. තමාගේ ලේ මස් ඇස් ඉස් ආදි ශරීරාවයවයන් පරිත්‍යාග කිරීම දාන උප පාරමිතා නමි. ජීවිතය පරිත්‍යාග කිරීම දාන පරමත්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය කෙරෙහි ආලය හැර ගිහි ගෙයින් නික්මීම පැවිදිවීම නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතා නමි. ශරීරාවයවයන් කෙරෙහි ආලය හැර ගිහි ගෙයින් නික්මීම නෛෂ්ක්‍ර‍ම්‍යෝපපාරමිතා නමි. ජීවිතාශාව හැර ගිහි ගෙයින් නික්මීම නෛෂ්ක්‍ර‍ම්‍ය පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය කෙරෙහි ආලය හැර අනුන්ගේ යහපත ගැන නුවණ මෙහෙයා ක්‍රියා කිරීම ප්‍ර‍ඥා පාරමිතා නමි. ශරීරාවයවයන් කෙරෙහි ආලය හැර අන්‍යයන්ගේ යහපත පිණිස නුවණ මෙහෙයා ක්‍රියා කිරීම ප්‍රඥෝපපාරමිතා නමි. තමාගේ ජීවිතය ගැන අපේක්ෂා නොකොට අන්‍යයන්ගේ යහපත ගැන නුවණ මෙහෙයා ක්‍රියා කිරීම ප්‍ර‍ඥා පරමාර්ථ පාරමිතා නමි.

“පුත්‍ර‍දාර ධනාදිය පරිත්‍යාග කිරීමෙහි හා ඒවා කෙරෙහි ආලය හැර ශීල පූරණාදියෙහි ද වීර්‍ය්‍යය, වීර්‍ය්‍ය පාරමිතාවය. ස්වකීය ශරීරාවයව පරිත්‍යාග කිරීමෙහි හා ඒවා කෙරෙහි ආලය හැර ශීල පූරණාදියෙහි ද වීර්‍ය්‍යය, වීය්‍යෝපපාරමිතා නමි. ජීවිත පරිත්‍යාගයෙන් හා ජීවිතාශාව හැර ශීලාදිය පිරීමෙහි ද වීර්‍ය්‍යය, වීර්‍ය්‍ය පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදියට කරන හානි ඉවසීම ක්ෂාන්ති පාරමිතා නමි. තමාගේ ශරීරාවයවයන්ට හානි කරනු ඉවසීම ක්ෂාන්ත්‍යෝපපාරමිතා නමි. ජීවිතයට හානි කරනු ඉවසීම ක්ෂාන්ති පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය නිසා බොරු නො කියා සත්‍යය කීම සත්‍ය පාරමිතා නමි. ශරීරාවයවයන් ආරක්ෂා කර ගැනීම පිණිස ද බොරු නො කියා සත්‍යය ම කීම සත්‍යෝපපාරමිතා නමි. ජීවිතාරක්ෂාව නිසා ද බොරු නො කියා සත්‍යය ම කීම සත්‍ය පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය නිසා ද නො හරනා අධිෂ්ඨානය, අධිෂ්ඨාන පාරමිතා නමි. තමාගේ ශරීරාවයවයන් ආරක්ෂා කර ගැනීම සඳහා ද නො හරනා අධිෂ්ඨානය, අධිෂ්ඨානෝපපාරමිතා නමි. ජීවිතය රැකීම පිණිස ද නො හරනා අධිෂ්ඨානය, අධිෂ්ඨාන පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදියට අහිතයන් කෙරෙහි ද මෛත්‍රිය පැවැත්වීම මෛත්‍රී පාරමිතා නමි. ශරීරාවයවයන්ට අහිතයන් කෙරෙහි ද මෛත්‍රිය පැවැත්වීම මෛත්‍රී උප පාරමිතා නමි. තමාගේ ජීවිතයට අහිතයන් කෙරෙහි මෛත්‍රිය පැවැත්වීම මෛත්‍රී පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය කෙරෙහි හා ඒවාට හිතාහිතයන් කෙරෙහි මධ්‍යස්ථතාව උපේක්ෂා පාරමිතා නමි. තමාගේ ශරීරාවයවයන් කෙරෙහි හා ඒවාට හිතාහිතයන් කෙරෙහි මධ්‍යස්ථතාව උපේක්ෂෝපපාරමිතා නමි. ජීවිතය කෙරෙහි හා එයට හිතාහිතයන් කෙරෙහි මධ්‍යස්ථතාව උපේක්ෂා පරමාර්ථ පාරමිතා නමි.

ලොවුතුරා බුදු බවට පැමිණෙනු පිණිස පාරමිතා සමතිස ම පිරිය යුතුය. පසේ බුදු බව පතනුවන් විසින් පාරමිතා දශය හා උපපාරමිතා දශය ද පිරිය යුතුය. ශ්‍රාවක බෝධිය පතනුවන්ට පාරමිතා දශය පිරීම ම ප්‍ර‍මාණ වේ. (පාරමිතා ප්‍ර‍කරණය කියවීමෙන් වැඩි විස්තර දත හැකිය.)

සප්තාර්‍ය්‍ය ධනය

“සද්ධාධනං සීලධනං හිරිඔත්තප්පියං ධනං

සුතධනං ච චාගො ච පඤ්ඤා මෙ සත්තමං ධනං

යස්ස එතෙ ධනා අත්ථි ඉත්ථියා පුරිසස්ස වා.

අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං

“සද්ධාධනය, සීලධනය, හිරිධනය, ඔත්තප්පධනය, සුතධනය, චාගධනය, පඤ්ඤාධනය යන මේ ධනයෝ යම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ඇත්තාහු වෙත් නම් හේ දුප්පතෙක් නො වේය යි ද ඔහුගේ ජීවිතය හිස් එකක් නො වේ යයි ද ආර්‍ය්‍යයෝ කීහ” යනු එහි තේරුම ය.

සද්ධාධනය යනු බුද්ධාදි රත්නත්‍ර‍ය හා කර්ම, කර්ම ඵලය විශ්වාස කරන ස්වභාවය ය. සීලධනය යනු පඤ්ච ශීලාදි සිල් රැකීම ය. හිරිධනය යනු පාපය පිළිකුල් කරන ස්වභාවය ය. ඔත්තප්පධනය යනු පාපයට බිය වන ස්වභාවය ය. සුතධනය යනු ධර්මය උගත් බවය. චාගධනය යනු දන් දෙන ස්වභාවය ය. පඤ්ඤාධනය යනු නුවණ ය.

සැප ලැබීමට හා දුක් නැති කර ගැනීමට උපකාර වන සත්ත්වයනට ප්‍රීතිය ඇති කරවන දෙය ධන නම් වේ. එය වස්තු ධනය, ගුණ ධනය ය යි දෙවැදෑරුම් වේ. ආර්‍ය්‍යධන වනුයේ ගුණ ධනය යි. මිල මුදල් රන් රිදී මුතුමැණික් ආදි ධනය සමහර විට ධන හිමියාට අනර්ථය පිණිස ද පවත්නේ ය. අර්ථය පිණිස පැවතියත් එසේ පවත්නේ ජීවත් වන කාලය වූ මඳ කලකට පමණය. එය ලෙහෙසියෙන් විනාශ ද විය හැකි ය. එබැවින් ආර්‍ය්‍යයෝ ගුණ ධනය මිස වස්තු ධනය උසස් කොට නො සලකති. ශ්‍ර‍ද්ධාදි ධර්ම සත වනාහි සත්ත්වයනට සියලු සම්පත් ලැබීමට උපකාර වන ධර්ම සතකි. එබැවින් ආර්‍ය්‍යයෝ ඒවා උතුම් ධන වශයෙන් සලකති.

ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය

සසර දුකින් මිදී නිවනට පැමිණීම වනාහි පස්කම් සුව විඳිමින් ම පහසුවෙන් සිදු කළ හැකියක් නොව, මහෝත්සාහයෙන් දීර්ඝ කාලයක් පිළිවෙත් පුරා සිදුකර ගත යුත්තකි. නිවන් ලබනු කැමතියන්ට එය ලබනු සඳහා පිරිය යුතු ප්‍ර‍තිපත්තියක් ඇත්තේ ය. එහි කරුණු අටක් ඇත්තේ ය. එ බැවින් ඒ ප්‍ර‍තිපත්ති ක්‍ර‍මයට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ.

සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යගාජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ අට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ය.

සම්‍යක්දෘෂ්ටිය යනු චතුරාර්‍ය්‍ය සත්‍ය දන්නා වූ ඥානය ය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් දුක් හඳුනන්නා වූ ඥානය ය. දුක් ඇතිවීමේ සැබෑ හේතුව හඳුනන්නා වූ ඥානය ය, දුක් නිවීම වූ සැබෑ සැපය හඳුනන්නා වූ ඥානය ය, සැබෑ සැපය වූ නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය හඳුනන්නා වූ ඥානය ය යන මේ ඥාන සතර සම්‍යග්දෘෂ්ටිය ය.

සම්‍යක් සංකල්පය යනු නිවැරදි කල්පනාව ය. එය නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යි තෙවැදෑරුම් වේ. පුත්‍ර‍ භාර්‍ය්‍යා ස්වර්ණරජතාදි කාමනීය වස්තූන් කෙරෙහි පවත්නා වූ තෘෂ්ණා බන්ධනයෙන් මිදීම පිළිබඳව වූ කල්පනාව නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය නමි. අව්‍යාපාද සංකල්පය යනු අන්‍යයන් සුවපත් කිරීම පිළිබඳ කල්පනාවය. අවිහිංසා සංකල්පය යනු දුඃඛිතයන් දුකින් මිදවීම පිළිබඳ වූ කරුණා සහගත කල්පනාව ය.

සම්‍යක්වචනය යනු බොරු කීමය, කේලාම් කීමය, පරුෂ වචන කීමය, සම්ඵප්‍ර‍ලාප කීමය යන මේවායින් වැළකීම ය.

සම්‍යක් කර්මාන්තය යනු ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන කයින් සිදුවන පව් තුනෙන් වැළකීම ය.

සම්‍යගාජීවය යනු දිවි පෙවෙත සඳහා කායවාක් දුශ්චරිත නො කොට ඒවායින් වැළකීම ය.

සම්‍යග් ව්‍යායාමය යනු නූපන් අකුසල් ඇති නොවනු පිණිස ද, උපන් අකුසල් දුරු කරනු පිණිස ද, නූපන් කුසල් ඇති කරගනු පිණිස ද, උපන් කුසල් දියුණු කරනු පිණිස ද කරන වීර්‍ය්‍යය ය.

සම්‍යක් ස්මෘතිය යනු යහපත් සිහිය ය. කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය යි සම්‍යක් ස්මෘතිය සිව් වැදෑරුම් වේ. භාවනාවේ යෙදෙන්නවුන්ට දෙතිස් කුණපාදිය අමතක වන්නට නොදී මේ සිහියෙන් නැවත නැවත මතු කර දෙන්නේ ය.

සම්‍යක් සමාධිය යනු සිතට මොහොතින් මොහොත අරමුණෙන් අරමුණට සංක්‍ර‍මණය වන්නට නො දී කසිණාදි එක් අරමුණක පිහිටවන ස්වභාවය ය. එය ප්‍ර‍ථමධ්‍යාන සමාධිය ද්විතීයධ්‍යාන සමාධිය තෘතීයධ්‍යාන සමාධිය චතුර්ථධ්‍යාන සමාධිය යි සතර වැදෑරුම් වේ. සමාධිය කලක් භාවනාවේ යෙදීමෙන් ලැබිය යුත්තකි.

ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි පිළිපැදිය යුතු අන්දම

නිවන් ලැබීමට ඇත්තා වූ එක ම නොවරදින මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ය. නිවන් පසක් කරනු කැමති සත්පුරුෂයන් විසින් කල්‍යාණ මිත්‍ර‍යන් වූ බුදුවරයන් බුද්ධ ශ්‍රාවකයන් ඇසුරු කොට, පින් පව් හා පින් පව්වල විපාක හැඳින ගත යුතු ය. චතුරාර්ය සත්‍ය ධර්මය සැකෙවින් මුත් උගත යුතු ය. එසේ කර ගැනීම පළමුවන මාර්ගාඞ්ගය වූ සම්‍යග් දෘෂ්ටිය ඇති කර ගැනීමය. (චතුරාර්ය සත්‍යය මැනවින් දනු කැමැත්තෝ මෙම කතෘන් වහන්සේගේ ම “චතුරාර්ය සත්‍යය” පොත බලත්වා!)

ඉක්බිති දෙවන මාර්ගාංගය සම්පූර්ණ කරනු පිණිස කාමයන් හළ යුතු ය. කාමයන් හැර දැමීම නම් ගිහි ගෙයින් නික්ම පැවිදි වීම ය. එක වරට ම සියලු කාමයන් නො හැරිය හැකි පින්වතුන් විසින් පෙහෙවස් සමාදන් වීම් ආදියෙන් නෛෂ්ක්‍ර‍ම්‍යය පුරුදු කළ යුතු ය. නෛෂ්ක්‍ර‍ම්‍යයෙන් ලෝභය දුරුවේ. ද්වේෂය දුරු වනු පිණිස සකල සත්ත්වයනට මෙත් වැඩීම ද, දුඃඛිත සත්ත්වයනට කරුණා කිරීම ද පුරුදු කළ යුතු ය. එසේ කිරීමෙන් සම්‍යක් සංකල්ප මාර්ගාඞ්ගය පිරේ.

ඉක්බිති වචනයෙන් සිදු වන පව් සතර හැර වාක් කර්මය ද කයින් සිදුවන පව් තුන හැර කාය කර්මය ද පිරිසිදු කර ගත යුතු ය. දිවි පැවැත්වීමට පව්කම් නො කොට ආජීවය පිරිසිදු කර ගත යුතුය. එසේ කිරීමෙන් සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යගාජීවය යන අංග තුන පිරේ. සිද්ධාර්ථකුමාරයන් වහන්සේ ද ගිහිගෙන් නික්ම පැවිදිව එසේ කළ බව -

“පබ්බජිත්වාන කායෙන - පාපකම්මං විවජ්ජයි

වචීදුච්චරිතං හිත්වා - ආජීවං පරිසොධයි”

යනුවෙන් දක්වා තිබේ. පැවිදි ව කයින් කරන පව්කම් හලෙමි. වාක් දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කළෙමි” යනු එහි තේරුම ය.

කාමයන් හැර සිල් රක්නා සත්පුරුෂයා විසින් පව් නො කිරීම නිසා කොතරම් අමාරුකම් ඇති වුවත් ඒවා ඉවසමින් මහත් වූ වීර්‍ය්‍යයෙන් ශීලය රක්ෂා කළ යුතු ය. පව් හැර ජීවත්වන්නහුට සමහර විට ආහාර පානාදිය දුර්ලභ විය හැකි ය. එසේ වූ කල්හි සාගින්න ඉවසිය යුතුය. පිපාසාව ඉවසිය යුතු ය. කොතරම් නීරස ආහාරයක් වුව ද වැළඳීමට මැළි නො විය යුතු ය. භික්ෂුවක් නම් වැස්සේ තෙමෙමින් වුව ද පිඬු සිඟා ගැනීමට මැළි නො විය යුතු ය. පහසුව සඳහා පාපයක් නො කළ යුතු ය. එසේ වීර්යයෙන් ශීලය රක්ෂා කිරීම ද වත පිළිවෙත කිරීම ද භාවනාවෙහි යෙදීම ද සම්‍යග් ව්‍යායාමය පිරීම ය.

නිවන් සොයන තැනැත්තා විසින් සිල් රැකීමෙන් ම නො නැවතිය යුතුය. පෘථග්ජනයාගේ ශීලය ස්ථිර වූවක් නො වේ. පෘථග්ජනයා කාමයන් හැර පැවිදිව කොතරම් උග්‍ර‍ තපස් ඇතියකු වුව ද නැවත පස්කම් සුව විඳින්නකු විය හැකි ය. දුශ්ශීලයකු විය හැකිය. එබැවින් සිල් රකිමින් ම මතු නූපදනා පරිදි කෙලෙසුන් නැති කිරීම සඳහා කළ යුතු වැඩවල වහ වහා යෙදිය යුතු ය. මතු ඇති නොවන පරිදි කෙලෙසුන් නැසිය හැක්කේ ලෝකෝත්තර මාර්ගය ඇති කර ගැනීමෙනි. ලෝකෝත්තර මාර්ගය ඇති කර ගනු පිණිස කර්මස්ථාන දායක ආචාර්යවරයකුගේ උපදෙස් පිට භාවනාවෙහි යෙදිය යුතු ය. සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් සම්‍යක් ස්මෘති මාර්ගාඞ්ගය පිරේ.

සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් දීර්ඝ කාලයක් නානාරම්මණයන්හි වික්ෂිප්ත ව පැවැත්තා වූ සිත බොහෝ දුරට සන්සිඳීමට පැමිණේ. ඉන්පසු සමාධිය දියුණු කරමින් ප්‍ර‍ථමධ්‍යාන සමාධිය, ද්විතීයධ්‍යාන සමාධිය, තෘතීයධ්‍යාන සමාධිය, චතුර්ථධ්‍යාන සමාධිය යන සමාධීන් අතුරෙන් එක් සමාධියක් හෝ සියල්ල ම හෝ උපදවා සම්‍යක් සමාධිය සම්පූර්ණ කළ යුතු ය. සතිපට්ඨාන හා සමාධි වැඩීම ලෙහෙසියෙන් කළ හැකි නොවේ. සැප විඳීමේ ආශාව හා අධික නින්ද ද හැර මහන්සි නො බලා භාවනාවෙහි යෙදෙන්නා හට සම්‍යක් සමාධිය පිරේ.

මෙසේ ඒ ඒ මාර්ගාංග වෙන් වෙන් ව වඩා විදර්ශනා භාවනාවෙහි ක්‍ර‍මානුකූල ව යෙදෙන්නා වූ තැනැත්තාට මාර්ගාංග වැඩී සියලු ම මාර්ගාංග එක විට ම ලෝකෝත්තරත්වයෙන් පහළ වන්නා වූ අවස්ථාවක් පැමිණේ. එසේ පළමුවර පහළවීම සෝවාන් වීමය. දෙවන වර පහළවීම සකෘදාගාමී වීම ය. තුන්වන වර පහළවීම අනාගාමී වීම ය. සතර වන වර පහළවීම රහත් වීම ය. රහත්වීම නිවන් ලැබීම සඳහා පුරන ප්‍ර‍තිපත්තියේ අවසානය ය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය සංක්ෂේප කළහොත් ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍ර‍ඥාස්කන්ධය යන මේ ස්කන්ධ තුන වේ. සම්‍යග්වචනය සම්‍යක්කර්මාන්තය සම්‍යගාජීවය යන මාර්ගාංග තුන සීලස්කන්ධයට ඇතුළු වේ. සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන මේ තුන සමාධිස්කන්ධයට ඇතුළු වේ. සම්‍යග් දෘෂ්ටිය සම්‍යක් සංකල්පය යන දෙක ප්‍ර‍ඥාස්කන්ධයට ඇතුළු වේ.

දුර්ලභ කරුණු පසක්

“භික්ඛවෙ, අප්පමාදෙන සම්පාදෙථ, දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභො, දුල්ලභා ඛණ්සම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං”

මේ බුදුන්වහන්සේ දිනපතා ම කරන අනුශාසනයකි. එහි තේරුම මෙසේ ය. මහණෙනි, අප්‍ර‍මාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ක්ෂණ සම්පත්තිය දුර්ලභ ය. ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍ර‍වණය දුර්ලභ ය.

ලොව්තුරා බුදුවීම ලෝකයෙහි ඇති වැඩවලින් සියල්ලට ම වඩා දුෂ්කර දෙය ය. බුදු බව ලැබිය හැක්ක් පුත්‍ර‍දාරාවන් හා ධනය ද ශරීරාවයවයන් ද ජීවිතය ද පරිත්‍යාග කරමින් ඉතාම අඩු ගණනින් සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමට සමත් කෙනකුන් විසින් ය. එබඳු පුද්ගලයන් ලෝකයෙහි සුලභ නොවන බැවින් සමහර විට කල්ප කෝටි ගණනකිනුදු ලෝකයෙහි බුදුවරයෙක් පහල නො වේ. එබැවින් බුද්ධෝත්පාදය දුර්ලභ ය.

අපායයෝ වනාහි පින් කිරීමට ඉඩ නැත්තා වූ ස්ථානයෝ ය. අපායෙහි උපන් සත්ත්වයාට පින් කිරීම පිළිබඳ නුවණක් ද ඇති නොවේ. එබැවින් අපායට ගිය සත්ත්වයා එහිදී ද පව්කම් ම කොට නැවත නැවතත් අපායෙහි ම උපදන්නේ ය. වරක් අපායට ගිය සත්ත්වයකුට නැවත මිනිසකු වන්නට ලැබෙන්නේ ඉතා දීර්ඝ කාලයකිනි. මිනිසත් බැව්හි දුර්ලභත්වය තථාගතයන් වහන්සේ විසින් උපමාවකින් වදාරා තිබෙන්නේ මෙසේ ය.

“මහණෙනි, පුරුෂයෙක් එක් සිදුරක් ඇති වියදඬු කඩක් මහ මුහුදට දමන්නේ ය. සමුද්‍ර‍ගත වූ වියදඬුව නැගෙනහිරින් එන සුළඟින් බස්නාහිරට ගෙන යනු ලබයි. බස්නාහිරින් එන සුළඟින් නැගෙනහිරට ගෙන යනු ලබයි. උතුරෙන් එන සුළඟින් දකුණට ගෙන යනු ලබයි. දකුණින් එන සුළඟින් උතුරට ගෙන යනු ලබයි. සමුද්‍රයෙහි වෙසෙන කණකැස්බෑවෙක් ද වර්ෂ සියයකට වරක් මුහුදු දියෙන් අහසට හිස දිගු කරයි. මහණෙනි, කිමෙක් ද, ඒ කණකැස්බෑවා ගේ හිස අර වියදඬු සිදුරට ඇතුළු වේ ද? මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් විචාළ සේක. එකල්හි භික්ෂූහු “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දීර්ඝ කාලයක් ගතවන කල්හි එය සිදුවන්නට ද ඉඩ තිබේ ය” යි සැලකළෝ ය. එකල භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් “මහණෙනි, කණකැස්බෑවාගේ හිස ඉක්මනින් විය සිදුරට ඇතුළු වන්නේ ය. පව්කම් කොට වරක් අපායට ගිය බාලයා හට මිනිස් ලොවට පැමිණීම එයට වඩා දුර්ලභ වන්නේ ය” යි වදාළ සේක. මිනිසත් බැව්හි දුර්ලභත්වය ඒ දේශනාවෙන් දත යුතු ය.

සත්ත්වයනට පින් කිරීමට සර්වාකාරයෙන් ම අවකාශ නො ලැබෙන්නා වූ ද පින් කිරීමට දුෂ්කර වූ ද කල් අටක් ඇත්තේ ය. සසර සැරිසරන සත්ත්වයනට බොහෝ සෙයින් සිදුවන්නේ පින් කිරීමට දුෂ්කර අවස්ථාවලට හසු වී සිටීමට ය. “ක්ෂණසම්පත්තිය” යි කියනුයේ පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අන්‍ය වූ අවස්ථාවට ය. එය ලැබෙන්නේ කලාතුරකිනි. නොකල් අට මතු දක්වනු ලැබේ.

බුදුසස්නෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාදය ය, මිනිස් බව ය, ක්ෂණසම්පත්තිය යන දුර්ලභ කරුණු තුන ම ලද තැනැත්තාට ය. ඒ තුන ම ලද ද පැවිද්දට සිත නැමෙන්නේ ඉතා ම ටික දෙනකුගේ ය. එබැවින් පැවිද්ද දුර්ලභ දෙයකි.

තථාගතයන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය බුද්ධෝත්පාද කාලයෙහි ම මිස අන් කලෙක අසන්නට නො ලැබෙන්නේ ය. දුර්ලභ වූ බුද්ධෝත්පාදය හා මිනිසත්බව ලැබූ සැමට ම දහම් අසන්නට නො ලැබේ. අද ලෝකයෙහි දහම් අසන්නට නො ලබන්නෝ බොහෝ ය. ලදත් නො අසන්නෝ ම බොහෝ ය. ධර්මය ආදරයෙන් අසන්නෝ ඉතා ම ටික දෙනෙකි. එබැවින් සද්ධර්මය ශ්‍ර‍වණය දුර්ලභය යි වදාළ සේක.

පින් කිරීමට අනවකාශ කල් අට

නරකයට වැටී සිටින කාලය ය, තිරිසන් ව සිටින කාලය ය, ප්‍රේත ව සිටින කාලය ය, සිත නැති කය පමණක් ඇති අසංඥ භවයට පැමිණ සිටින කාලය ය, බුදුවරයන් බුද්ධශ්‍රාවකයන් නො පැමිණෙන ප්‍ර‍ත්‍යන්ත ප්‍රදේශවල ඉපිද සිටින කාලය ය, මිථ්‍යාදෘෂ්ටිය ගෙන සිටින කාලය ය, හොඳ නරක තේරුම් ගත නොහැකි මෝඩයකු වී සිටින කාලය ය, අබුද්ධෝත්පාද කාලය ය යන මේ කාල අට පින් කිරීමට අවකාශ නො ලැබෙන කාලයෝ ය. මේ බුද්ධෝත්පාද කාලයේ මිනිසත් බව ලබා බුදුසස්න පවත්නා ප්‍රදේශවල වාසය කරන පින්වත්හු දුර්ලභ වූ අවස්ථාවක් ලබා සිටින්නෝ ය. මේ අගනා අවස්ථාව හිස් ව ඉක්ම යන්නට නොදී සෑම දෙනා ම එයින් ප්‍රයෝජන ගැනීම් වශයෙන් යහපත් ක්‍රියාවල යෙදී සගමොක් සැප ලබත්වා!

අෂ්ට ලෝක ධර්මය

“ලාභො අලාභො අයසො යසො ච

නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං

එතෙ අනිච්චා මනුජෙසු ධම්මා

අසස්සතා විප්පරිණාම ධම්මා”

ලාභය ය, අලාභය ය, යසස ය, අයසස ය, නින්දාව ය, ප්‍ර‍ශංසාව ය, සැපයය, දුක යන මේ ධර්ම අටට ලෝක ධර්ම යයි කියනු ලැබේ. මෙලොව වෙසෙන සෑම මිනිසකු කරා ම ඒ ධර්මයෝ වරින් වර පැමිණෙති. චක්‍ර‍ක් සේ කැරකෙන ඒ ධර්මයන් ගේ පැමිණීම අවස්ථාවෙන් අවස්ථාවට සිදුවන නිසා සාමාන්‍ය මිනිසකුට තබා සිටුවරයකුට රජ කෙනකුට වුව ද සෑම කල්හි එක් තත්ත්වයෙන් ම වාසය කරන්නට නො ලැබේ.

ලෝක ධර්මයන් අතුරෙන් ලාභය යනු ආහාර පාන වස්ත්‍ර‍ මිල මුදල් ආදිය ලැබීම ය. අලාභය යනු ලැබූ දෑ නැති වී යෑම හා ඉදිරියට නොලැබී යෑම ය. කලෙක බොහෝ ලාභ ඇති ව පොහොසත්ව සිටින තැනැත්තා කරා කලක දී අලාභය පැමිණෙන්නේ ය. කලක් අලාභයෙන් හෙවත් දිළිදුකමින් පීඩිත තැනැත්තා කරා කලෙක ලාභය පැමිණෙන්නේ ය. මෙසේ මිනිසාට ලාභාලාභ දෙක චක්‍ර‍යක් සේ කැරකෙන්නේ ය.

යසසය යනු තමා හා එක් ව හැසිරෙන තමාගේ කටයුතුවලට සහභාගී වන පිරිසය. අයසසය යනු එබඳු පිරිසක් නැති බව ය. කලෙක මහ පිරිසක් ඇති ව සිටි තැනැත්තේ කලෙක මඳ පිරිසක් ඇතියෙක් හෝ තනි වූවෙක් හෝ වේ. තමා අනුව හැසිරෙන කිසිවකු නැති ව තනි ව සිටි තැනැත්තා හට කලෙක මහපිරිස් ඇති වේ. මෙසේ යසායස දෙක චක්‍ර‍යක් සේ මිනිසා කරා වරින් වර පැමිණේ. කීර්ති අපකීර්ති දෙකට ම යසායස යයි කියනු ලැබේ.

කලෙක බොහෝ දෙනාගෙන් ගැරහුම් ලබමින් විසූ තැනැත්තේ කලෙක බොහෝ දෙනාගෙන් පැසසුම් ලබන්නේ ය. කලෙක පැසසුම් ලැබූ තැනැත්තේ නැවත කලෙක ගැරහුම් ලබන්නේ ය. මෙසේ නින්දා ප්‍ර‍ශංසා දෙක වරින් වර මිනිසා කරා පැමිණේ.

කලෙක සැප සේ විසූ තැනැත්තා කරා කලෙක දුක් පැමිණෙන්නේ ය. කලෙක දුකින් විසූ තැනැත්තා කරා කලෙක සැප පැමිණෙන්නේ ය. මෙසේ සුව දුක් දෙක වරින් වර මිනිසා කරා පැමිණේ.

ලෝක ධර්මයන්ට අනුව පෙළෙන මිනිසා විසින් ඒවා පිළිබඳ මනා දැනුමක් ඇති ව විසිය යුතු ය. ලෝක ධර්මයන්ගේ තතු නොදත් නුවණ මඳ පුද්ගලයා ලාභය ය, පිරිවර ය, ප්‍ර‍ශංසාව ය, සැපය ය යන ඉෂ්ට ලෝකධර්මයන් ලබා සිටින අවස්ථාවේ දී ඒවා නිසා උඩඟු වී තමා උසස් කොට ද අන්‍යයන් පහත් කොට ද සිතති. ඒවායින් මත් ව නොයෙක් නො මනා කම් කොට දෙලොවින්ම පිරිහෙති. අලාභය ය, පිරිස් නැති බවය, නින්දාව ය, දුකය යන නො මනා ධර්මයන්ට මුහුණ පාන්නට වූ අවස්ථාවේ දී බොහෝ තැවෙන්නේ ය. අන්‍යයන්ට වෛර කරන්නේ ය. අන්‍යයන්ට ඊර්ෂ්‍යා කරන්නේ ය. එසේ කොට දෙලොවින් ම පිරිහීමට පැමිණෙන්නේ ය. ලෝක ධර්මයන්ගේ සැටි තේරුම් ගත් තැනැත්තා විසින් ලාභාදිය ලබා සිටින අවස්ථාවේ දී ඒවායේ ඇති අස්ථිර ස්වභාවය පෙරලෙන ස්වභාවය සලකා උඩඟු නො වන්නේ ය. මත් නො වන්නේ ය. ලාභාදිය නැතියන් පහත් කොට නො සිතන්නේ ය එසේ ම ලාභාදියෙන් තොර ව වාසය කරන කාලයේ දී එය ගැන ශෝක නො කරන්නේ ය. ලාභාිය ඇතියන්ට ක්‍රෝධ ඊර්ෂ්‍යා නො කරන්නේ ය. දුප්පත්කම නිසා නො මනාකම් නො කරන්නේ ය. තමා පහත් කොට ද නො සිතන්නේ ය. ලාභාදිය ඇතියවුන් උසස් කොට ද නො සිතන්නේ ය. මෙසේ ලෝක ධර්මයන් ගැන මැදහත් ව සිත නුවණැති මිනිසා දෙලෝ වැඩ සිදුකර ගන්නේ ය. ලෝක ධර්මයන් කෙරෙහි සම ව පැවැත්ම උසස් අදහස් ඇති උත්තම පුද්ගලයන් ගේ ස්වභාවයකි. ලෝක ධර්මයන් නිසා උඩඟු වීම හා ශෝක කිරීම හීනයන්ගේ ස්වභාවයකි.

ලෝක ධර්මයන් කෙරෙහි

සැලකිය යුතු කරුණු

“ධම්මෙන ච අලාභො යො

යො ච ලාභො අධම්මිකො

අලාභො ධම්මිකෝ සෙය්‍යො

යං චෙ ලාභො අධම්මිකො”

“ධර්මයෙන් වන්නා වූ අලාභය ය. අධර්මයෙන් වන්නා වූ ලාභය ය යන මේ දෙකින් අධර්මයෙන් වන ලාභයට වඩා ධාර්මික අලාභය ම උතුම් ය” යනු එහි අදහස ය.

“යසො ච අප්පබුද්ධීනං

විඤ්ඤූනං අයසො ච යො

අයසො ච සෙය්‍යො විඤ්ඤූනං

න යසො අප්පබුද්ධිතං”

“මන්දබුද්ධිකයන් නිසා වන කීර්තිය ය, නුවණැතියන් නිසා වන අපකීර්තිය ය යන දෙකින් මන්දබුද්ධිකයන් නිසා ලබන කීර්තියට වඩා නුවණැතියන් නිසා ලබන අපකීර්තිය ම උතුම් ය” යනු එහි අදහසයි.

“දුම්මෙධෙහි පසංසා ච

විඤ්ඤූහි ගරහා ච යා,

ගරහා ච සෙය්‍යො විඤ්ඤූනං

යං චෙ බාලප්පසංසනා”

“අඥයන් විසින් කරන ප්‍ර‍ශංසාව ය, විඥයන් විසින් කරන ගර්හාවය යන දෙකින් බාලයන්ගේ ප්‍ර‍ශංසාවට වඩා විඥයන්ගේ ගර්හාව ම උතුම් වන්නේ ය” යනු එහි තේරුමයි.

“සුඛං ච කාමමයිකං

දුක්ඛඤ්ච පවිවෙකියං

පවිවෙකියං දුක්ඛං සෙය්‍යො

යං චෙ කාමමයං සුඛං”

“කාමසුඛය ය, විවේකයෙන් වන දුක ය යන දෙකින් කාම සුඛයට වඩා විවේකයෙන් වන දුක ම උතුම් ය” යනු එහි තේරුමයි.

නිතර මෙනෙහි කළ යුතු කරුණු පසක්

“පඤ්චිමානි භික්ඛවෙ ඨානානි අභිණ්හං පච්චවෙක්ඛිතබ්බානි ඉත්ථියා වා පරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා කතමානි පඤ්ච?”

  1. ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හං පච්චවෙක්-ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
  2. ව්‍යාධිධම්මොම්හි ව්‍යාධිං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
  3. මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
  4. සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
  5. කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධූ කම්මපටිසරණො, යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.

තේරුම:

මහණෙනි, මේ කරුණු පස ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය. කවර කරුණු පසෙක් ද යත්?

  1. මම දිරන ස්වභාව ඇත්තේ වෙමි. ජරාව නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
  2. මම රෝග හටගන්නා ස්වභාව ඇත්තේ වෙමි. රෝගය නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය.
  3. මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නො ඉක්ම වූයෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
  4. ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන් මාගේ වෙන්වීම සිදුවේ යයි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
  5. මම කර්මය අයත් දෙය කොට ඇත්තේ වෙමි. කර්මය උරුම කොට ඇත්තේ වෙමි. කර්මය සුව දුක් ලැබීමේ හේතුව කොට ඇත්තේ වෙමි. කර්මය පිහිට කොට ඇත්තේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

බුදුපියාණන් වහන්සේගේ අන්තිම අවවාදය

“හන්දදානි භික්ඛවෙ, ආමන්තයාමි වො වයධම්මා සඞ්ඛාරා. අප්පමාදෙන සම්පාදෙථ

තේරුම:

මහණෙනි, මම දැන් තොපට (අවසාන වශයෙන්) කථා කරමි. සකල සංස්කාරයෝ ම නැසෙන ස්වභාවය ඇත්තෝ ය. තෙපි පමා නො වී සියල්ල සිදු කර ගනිව්.”

පවුල්

මළ එකකු මළ එකියක හා වෙසෙන පවුලය. මළ එකකු දේවියක හා වෙසෙන පවුල ය. දෙවියකු මළ එකියක හා වෙසෙන පවුල ය. දෙවියකු දේවියක හා වෙසෙන පවුල ය යි පවුල් ජාති සතරක් ඇති බව තථාගතයන් වහන්සේ වදාළ සේක. ප්‍රාණඝාතාදි පඤ්ච පාපයෙන් වළක්නා ස්වභාවය හා දෙන ස්වභාවය ද මනුෂ්‍යයා දේවත්වයට පමුණුවන ගුණයෝ ය. එබැවින් ඒ ගුණයන්ගෙන් යුක්ත පුරුෂයාහට දෙවියෙකැ යි ද ස්ත්‍රියකට දේවියකැයි ද කියනු ලැබේ. දුශ්ශීල වූ ද මසුරු වූ ද පැවිද්දන්ට ගර්හා කරන්නා වූ ද ගෘහස්ථයා, ගුණ මරණයෙන් මළ එකකු වන බැවින් ඔහුට මළ තැනැත්තා යයි කියනු ලැබේ.

බුදුන් වහන්සේගේ ධර්මයේ හැටියට අඹුසැමි දෙදෙන ම දුශ්ශීල වූ, මසුරු වූ, පැවිද්දන්ට ගර්හා කරන්නා වූ පවුල මළ එකකු මළ එකියක හා වෙසෙන පවුල ය. දුශ්ශීල වූ, මසුරු වූ, පැවිද්දන්ට ගර්හා කර්නනා වූ සැමියකු ඇති, සිල්වත් නො මසුරු බිරිඳක් ඇති පවුල මළ එකකු දේවියක හා වෙසෙන පවුල ය. සිල්වත් වූ නො මසුරු වූ සැමියකු හා දුසිල් මසුරු බිරිඳක් ඇති පවුල, දෙවියකු මළ එකියක හා වෙසෙන පවුල ය. අඹුසැමි දෙදෙන ම සිල්වත් වූ නො මසුරු වූ දෙන සුළු වූ පවුල දෙවියකු දේවියක හා වෙසෙන පවුල ය. ගුණදම් වඩන්නා වූ ඒ අඹුසැමියෝ මෙලොව ද සමගියෙන් සතුටින් වාසය කොට මරණින් මතු ස්වර්ගයට යන්නාහ.

භාර්යාවෝ සත් දෙන

වධකසම භාර්යාව ය, චෞරීසම භාර්යාව ය, ආර්යසම භාර්යාව ය, මාතෘසම භාර්යාව ය, භගිනිසම භාර්යාව ය, සඛීසම භාර්යාව ය, දාශීසම භාර්යාව ය යි භාර්යාවන් සත්දෙනකු ඇති බව බුදුන් වහන්සේ වදාළ සේක.

  1. නපුරු වූ, සැමියාට හිතවත් නො වූ, දයාවක් නැත්තා වූ, අන්‍ය පුරුෂයන්ට ඇලුම් කරන්නා වූ, සැමියාට වධ කිරීමට උත්සාහ කරන්නා වූ භාර්යාව වධකසම භාර්යා නම් වේ.
  2. සැමියා විසින් වෙහෙසී සපයන්නා වූ වස්තුවෙන් කොටසක් සඟවා ගන්නා වූ භාර්යාව චෞරීසම භාර්යා නම් වේ.
  3. ගෙදර වැඩ කිරීමට නො කැමති වූ, අලස වූ, බොහෝ අනුභව කරන්නා වූ, කෘර වූ, නපුරු වචන කියන්නා වූ හිමියා යටත් කර ගෙන සිටින්නා වූ භාර්යාව ආර්ය සම භාර්යා නම් වේ.
  4. සැමියාට හිතවත් වූ, අනුකම්පාව ඇත්තා වූ, දරුවන් රක්නා මවක් මෙන් සිය හිමියා රක්නා වූ, හිමියා සපයන ධනය පරෙස්සම් කරන්නා වූ භාර්යාව මාතෘසම භාර්යා නම් වේ.
  5. නැගණියක සේ සැමියාට ගරු කරන, ලජ්ජාව ඇති, සැමියාට කීකරු වූ භාර්යාව භගිනිසම භාර්යා නම් වේ.
  6. බොහෝ කලකින් නුදුටු යහළුවකු දැක සතුටු වන්නා වූ යෙහෙළියක මෙන් හිමියා දැක සතුටු වන්නා වූ, කුලවත් වූ, සිල්වත් වූ, පතිව්‍ර‍තා ඇත්තා වූ භාර්යාව සඛීසම භාර්යා නම් වේ.
  7. හිමියාගේ තර්ජනවලට නො කිපෙන්නා වූ, හිමියාගේ වරද ඉවසන්නා වූ හිමියාට කීකරු ව වාසය කරන්නා වූ භාර්යාව දාශීසම භාර්යා නම් වේ.

“යාවිධ භරියා වධකාති වුච්චති

චෞරී ච අය්‍යාති ච යා පවුච්චති

දුස්සීල රූපා ඵරුසා අනාදරා

කායස්ස භේදා නිරයං වජන්ති තා”

දුශ්ශීල වූ, නපුරු වූ, හිමියාට අනදර කරන්නා වූ වධක භාර්යාව ය චෞරි භාර්යාව ය ආර්‍ය්‍ය භාර්යාව යයි කියනු ලබන භාර්යාවන් මරණින් මතු නරකයට යන බව මේ ගයින් ප්‍ර‍කාශිත ය.

“යාවීධ මාතා භගිනි සඛී ච

දාසී ච භරියාති ච යා පවුච්චති.

සීලෙ ඨිතත්තා චිරරත්න සංවුතා

කායස්ස භෙදා සුගතිං වජන්ති තා.”

ශීලයෙහි පිහිටියා වූ මෘතෘ භාර්යාව ය, භගිනි භාර්යාව ය, සඛී භාර්යාව ය, දාශී භාර්යාව යයි කියනු ලබන භාර්යාවෝ මරණින් මතු සුගතියට යත්හයි මෙයින් ප්‍ර‍කාශිත ය.

මෙ ලොව ජය ගන්නා ස්ත්‍රිය

“චතු හි ඛො විසාඛෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො ඉධ ලොක විජයාය පටිපන්නො හොති, අයං ලොකො ආරද්ධො හොති. කතමෙහි චතූහි? ඉධ විසාඛෙ, මාතුගාමො සුසංවිහිත කම්මන්තො හොති සංගහිතපරිජනො, භත්තුමනාපං චරති, සම්භතං අනුරක්ඛති

මෙය තථාගතයන් වහන්සේ විසින් විශාඛා මහා උපාසිකාවට වදාරන ලද්දකි. මනාකොට කළයුතු දෑ කිරීම ය, පිරිවර ජනයාට සුදුසු පරිදි සංග්‍ර‍හ කිරීම ය, සිය සැමියා සතුටු වන පරිදි හැසිරීම ය, හිමියා සපයන ධනය ආරක්ෂා කර ගැනීම ය යන කරුණු සතරින් යුක්ත ස්ත්‍රිය මෙලොවව ජය ගැනීම පිණිස පිළිපන් ස්ත්‍රියක් වන බව එයින් ප්‍ර‍කාශිත ය.

  1. ආහාර පිසීම, මැසීම, ගෙතීම, ගේ දොර අලුත්වැඩියා කිරීම, කැඩුම් බිඳුම් සකස් කිරීම, පරණ බඩු අලුත්වැඩියා කර ගැනීම, රෝගීන්ට සාත්තු කිරීම යනාදි ගෙයක ස්ත්‍රිය විසින් සිකු කළ යුතු දේ අනලස ව මනා කොට සිදු කිරීම මෙලොව දිනීමට පිළිපන් ස්ත්‍රියගේ පළමු වන අංගය ය. ඒවා මනාකොට කිරීමට නො සමත් වූ ද අලස වූ ද භාර්යාවක් ඇති නිවස නිශ්ශ්‍රීක නිවසක් වේ.
  2. ගෙදර වැඩකරුවන් ඒ ඒ දෙය කළ නො කළ බව දැන ගැනීම, ආහාර පානාදියෙන් ඔවුනට සුදුසු පරිදි සංග්‍ර‍හ කිරීම, ගිලන් වූ කල ඔවුනට සංග්‍ර‍හ කිරීම, ගෙදර කටයුතුවලින් පිටතට පැමිණෙන නෑ මිතුරන්ට සංග්‍ර‍හ කිරීම, මෙලොව ජය ගැනීම පිණිස පිළිපන් ස්ත්‍රියගේ දෙවන අංගය යි. එසේ සංග්‍ර‍හ නො කරන ගෙවල කම්කරුවෝ සැලකිල්ලෙන් වැඩ නො කරති. සමහර විට ඒ ගෙය ද හැර යෙති. යම් යම් අවස්ථාවල දී උපකාරයට පිටතින් පැමිණෙන නෑ මිතුරෝ ද නො පැමිණෙති. එයින් බොහෝ කටයුතු පිරිහේ.
  3. හිමියා සතුටු වන සැටියට හැසිරීම මෙලොව දිනීම පිණිස පිළිපන් ස්ත්‍රියගේ තුන්වන අංගය ය. බිරිඳ එසේ නො හැසිරෙන කල හිමියා ධන සැපයීම් ආදියට පසුබට වේ. අන්‍ය ස්ත්‍රීන් ඇසුරු කරන්නට හෝ පටන් ගනී. එයින් ඒ පවුල පිරිහේ.
  4. හිමියා සපයන ධනය පරෙස්සම් කර ගැනීම මෙලොව යහපත පිණිස ස්ත්‍රීන්ගේ සතර වන අංගය යි. භාර්යාව පමණ ඉක්මවා වියදම් කරන්නියක් වුවහොත් ඒ පවුලට දිළිඳුකමින් නැඟී සිටින්නට නුපුළුවන් වේ.

පරලොව ජය ගන්නා ස්ත්‍රිය

“චතූහි ඛො විසාඛෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො පරලොක විජයාය පටිපන්නො හොති, පරො ලොකො ආරද්ධෝ හෝති. කතමෙහි චතූහි? ඉධ විසාඛෙ, මාතුගාමො සද්ධා සම්පන්නො හොති, සීල සම්පන්නො හොති, චාග සම්පන්නො හොති, පඤ්ඤා සම්පන්නො හොති”

ශ්‍ර‍ද්ධාවෙන් යුක්ත වීම ය, ශීලයෙන් යුක්ත වීම ය. දෙන ස්වභාවය ඇත්තියක් වීම ය, නුවණින් යුක්ත වීම ය යන මේ කරුණු සතර පරලොව ජය ගන්නා පිණිස පිළිපන් ස්ත්‍රියගේ අංගයෝ යයි එයින් ප්‍ර‍කාශිත ය. දෙලොව ජය ගැනීමට හේතු වන අංග අටින් යුක්ත වූ කාන්තාව මෙලොව ප්‍රීතියෙන් වාසය කොට මරණින් මතු “මනාපකායික” දෙවියන් කෙරෙහි උපදින්නී ය.

අඹුසැමියන්ගේ යුතුකම්

පවුලක සමගිය සතුට දියුණුව ඇතිවීමට අඹුසැමි දෙදෙනා විසින් ම ඔවුනොවුන් සම්බන්ධයෙන් තම තමා අයත් යුතුකම් නො පිරිහෙලා ඉටු කළ යුතු ය. බොහෝ දෙනා තමාගෙන් ඉටු විය යුත්ත ඉටු නො කොට අනෙකා ගෙන් පමණක් යුතුකම් ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වෙති. බොහෝ පවුල්වල අසමගිකම්වලට හා පිරිහීමටත් හේතුව එය ය. තථාගතයන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍ර‍යා හට සැමියකුගේ යුතුකම් පසක් හා අඹුවකගේ යුතුකම් පසක් ද වදාළ සේක.

සැමියාගේ යුතුකම්

(1) බිරිඳ සතුටු වන පරිද්දෙන් ප්‍රිය වචනයෙන් කථා කිරීම ය. (2) බිරිඳට අවමන් නො කිරීම ය. (3) සිය බිරිඳ හැර අන් ස්ත්‍රීන් සේවනය නො කිරීම ය. (4) ආහාර පිළියෙල කිරීම් ආදි ගෙයි කටයුතුවලට අධිපති බව පැවරීම ය. (5) වස්ත්‍රාභරණ පිළියෙල කරදීම ය යන මේ කරුණු පස භාර්යාව සම්බන්ධයෙන් ඉටු කළ යුතු සැමියාගේ යුතුකම් ය.

භාර්යාවගේ යුතුකම්

කියන ලද කරුණු පසින් හිමියා විසින් භාර්යාවට සංග්‍ර‍හ කරන කල්හි භාර්යාව ද (1) කලට වේලාවට ආහාර පිළියෙළ කිරීම් ආදි ගෙයි කටයුතු මනා කොට කිරීම ය. (2) තමාගේ සැමියාගේ නෑ මිතුරන්ට මනා කොට සංග්‍ර‍හ කිරීම ය. (3) සිය සැමියා හැර අන් පුරුෂයන් නො පැතීම ය. (4) හිමියා සපයන ධනය ආරක්ෂා කිරීම ය. (5) සියලු කටයුතු අනලසව කිරීම ය යන කරුණු පසින් සැමියාට සංග්‍ර‍හ කරන්නීය.

දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු

“ව්‍යාඝ්‍ර‍පද්‍ය” නම් වූ කෝලිය රාජ පුත්‍ර‍යා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුන් වහන්සේගෙන් විචාළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උට්ඨානසම්පදාය, ආරක්ඛසම්පදාය, කල්‍යාණමිත්තතාය, සමජීවිකතාය යි මෙලොව යහපත පිණිස පවත්නා කරුණු සතරක් ඇති බව වදාළ සේක.

උට්ඨාන සම්පදා යනු ගොවිකමින් හෝ වෙළඳාමෙන් හෝ ශිල්පයකින් හෝ ශාස්ත්‍ර‍යකින් හෝ රාජකාර්යයකින් හෝ ජීවත්වන තැනැත්තාගේ තමා කරන ඒ කටයුත්ත නුවණින් යුක්ත ව දක්ෂ ව අනලස ව කරන බව ය.

ආරක්ඛ සම්පදා යනු මාපියාදීන්ගෙන් අයිතිවීමෙන් හෝ තමාගේ වීර්යයෙන් උපයා ගැනීමෙන් හෝ තමාට අයත් වී තිබෙන වස්තුව රජුන් විසින් සොරුන් විසින් සතුරන් විසින් පැහැර නො ගන්නා පරිදි විනාශ නො කරන පරිදි ගින්නට දියට වේයන්ට මීයන්ට හසු වී විනාශ නොවන පරිදි ආරක්ෂා කරන බව ය.

කල්‍යාණ මිත්තතා යනු ශ්‍ර‍ද්ධා, ශීල, ප්‍ර‍ඥාදි ගුණ ධර්මයන්ගෙන් යුත් සත්පුරුෂයන් ආශ්‍ර‍ය කරන බව ය. සමජීවිකතාය යනු ආදායමට වඩා වියදම් වැඩි කර නො ගෙන, ණය ගැති නො වී, පමණට වියදම් කොට දුක් නොවිඳ සමව ජීවිකාව කරන බව ය.

සද්ධාසම්පදාය, සීලසම්පදාය, චාගසම්පදාය, පඤ්ඤාසම්පදාය යන මේ සතර පරලොව යහපත පිණිස පවත්නා කරුණු ය.

සද්ධාසම්පදා යනු බුද්ධ ධර්ම සංඝ යන රත්නත්‍ර‍යාගේ ගුණ හා කර්ම කර්මඵලය විශ්වාස කරන බව ය. ශීල සම්පදා යනු පන්සිල් රක්නා බව ය. චාගසම්පදා යනු ශ්‍ර‍මණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට සුදුසු පරිදි ආහාර පාන වස්ත්‍රාදිය දෙන බව ය. පඤ්ඤාසම්පදා යනු ස්කන්ධාදි ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ හා අනිත්‍යාදි සාමාන්‍ය ලක්ෂණ දක්නා විදර්ශනා ඥානය ඇති බව ය.‍

පොහොසත් පවුල් වැටීමේ හේතු

“නට්ඨං න ගවෙසන්ති, ජිණ්ණං න පටිසංකරොන්ති, අපරිමිත පානභෝජනා හොන්ති, දුස්සීලං ඉත්ථිං වා පුරිසං වා ආධිපච්චේ ඨපෙන්ති” යනුවෙන් නැති වූ දෙය නො සෙවීම ය, දිරූ දෙය අලුත් නො කිරීම ය, පමණක් නැති ව කෑම් බීම් කිරීම ය, දුශ්ශීල ස්ත්‍රියක් හෝ පුරුෂයකු හෝ ප්‍ර‍ධාන්වයෙහි තැබීම ය යන කරුණු සතර පොහොසත් පවුල් වැටීමේ හේතු යයි තථාගතයන් වහන්සේ වදාළ සේක.

වස්තු විනාශයේ හේතු සය

“සුරාමේරය මජ්ජපමාදට්ඨානානුයොගො ඛො ගහපතිපුත්ත, භොගානං අපාය මුඛං, විකාලවිසිඛා චරියානුයොගො භොගානං අපාය මුඛං, සමජ්ජාභිචරණං භොගානා අපාය මුඛං, ජුත පමාදට්ඨානානුයොගො භොගානං අපාය මුඛං, පාපමිත්තානුයොගො භොගානං අපාය මුඛං, ආලස්සානුයොගො භොගානං අපාය මුඛං.

මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍ර‍යාට දේශයනය කරන ලද්දකි. එහි තේරුම මෙසේ ය.

ගෘහපති පුත්‍ර‍ය, මදයට ප්‍ර‍මාදයට හේතු වන සුරාමේරය පානයෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයේ හේතුවෙක. නො කල්හි වීථිවල නැවත නැවත හැසිරීම වස්තු විනාශයේ හේතුවෙක, නෘත්‍ය ගීතාදිය පවත්වන තැන්වල නැවත නැවත හැසිරීම වස්තු විනාශයේ හේතුවෙක. ප්‍ර‍මාදයට හේතු වූ සූදුවෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයේ හේතුවෙක, පාපමිත්‍ර‍යන් නැවත නැවත සේවනය කිරීම වස්තු විනාශයේ හේතුවෙක, අලස බැව්හි නැවත නැවත යෙදීම වස්තු විනාශයේ හේතුවෙක.”

සුරාපානයේ දෝෂ සය

“ඡ ඛො මෙ ගහපතිපුත්ත, ආදීනවා සුරාමේරය මජ්ජපමාදට්ඨානානුයොගෙ, සන්දිට්ඨිකා ධනඤ්ජානි, කලහ පවඩ්ඪනී, රොගානං ආයතනං, අකිත්ති සංජනනී, කොපීනං න දංසනී, පඤ්ඤාය දුබ්බලී කරණී ජට්ඨං පදං භවති, ඉමෙ ඛො ගහපතිපුත්ත ඡ ආදීනවා සුරාමේරය මජ්ජපමාදට්ඨානානුයොගෙ.”

තේරුම:

“ගෘහපති පුත්‍ර‍ය, මදයට හා ප්‍ර‍මාදයට හේතුවන සුරාමේරය පානයෙහි නැවත නැවත යෙදීමේ මේ දොස් සය ඇත්තේ ය. ඇස් හමුවෙහි ම ධනය පිරිහීම ය, කෝලාහල වැඩිවීම ය, රෝග බහුල වීම ය, අපකීර්තිය ඇතිවීම ය, ලජ්ජා උපදවන තැන් දැක්වීම ය, ප්‍ර‍ඥාව දුර්වල වීම ය යන මේ සය මද ප්‍ර‍මාදයන්ට හේතුවන සුරාමේරය පානයෙහි නැවත නැවත යෙදීමේ ආදීනවයෝ ය.”

නො කල්හි ඇවිදීමේ දොස් සය

“ඡ ඛො මේ ගහපතිපුත්ත! ආදීනවා විකාල විසිඛාචරියානුයොගෙ, අත්තාපිස්ස අගුත්තො අරක්ඛිතො හොති, පුත්තදාරොපිස්ස අගුත්තො අරක්ඛිතො හොති. සාපතෙය්‍යං පිස්ස අගුත්තං අරක්ඛිතං හොති, සංකියොච හොති, පාපකෙසු ඨානෙසු අභූතං වචනං තස්මිං රූහති, බහුන්නං ච දුක්ඛධම්මානං පුරක්ඛතො හොති, ඉමෙ ඛො ගහපති පුත්ත! ඡ ආදීනවා විාල විසිඛා චරියානුයොගෙ.

තේරුම:

“ගෘහපති පුත්‍ර‍ය, නො කල්හි වීථිවල ඇවිදීමෙහි මේ දොස් සය ඇත්තේ ය. ඔහුගේ ආත්මය ද නො රැකෙයි. ඔහුගේ අඹු දරුවෝ ද නො රැකෙති, ඔහුගේ වස්තුව ද නො රැකෙයි, හෙතෙමේ පව්කම්වලට සැක කරනු ලබන්නේ ද වෙයි, ඔහු ගැන අසත්‍ය කථා ද ඇති වෙයි, හෙතෙමේ බොහෝ දුක් ඉදිරියට තබා ගෙන සිටින්නේ වෙයි, ගෘහපති පුත්‍ර‍ය, මේ සය නො කල්හි වීථිවල ඇවිදීමේ දෝෂයෝ ය.

නෘත්‍යමණ්ඩලාදියෙහි හැසිරීමේ දොස් සය

“ඡ ඛො මෙ ගහපතිපුත්ත, ආදීනවා සමජ්ජාහි චරණෙ, ක්ව නච්චං ක්ව ගීතං, ක්ව වාදිතං, ක්ව අක්ඛානං, ක්ව පාණිස්සරං, ක්ව කුම්භථූනන්ති ඉමෙ ඛො ගහපතිපුත්ත, ඡ ආදීනවා සමජ්ජාභිචරණෙ”.

මෙය අතීත ලෝකයේ සැටියට වදාරණ ලද්දකි. තේරුම මෙසේ ය: “ගෘහපති පුත්‍ර‍ය, නෘත්‍ය මණ්ඩලාදියේ හැසිරීමෙහි මේ දොස් සය ඇත්තේ ය. ඒ තැන්වල හැසිරීමෙහි ඇලුණු තැනැත්තේ කොතැන නැටුමක් ඇති ද, කොතැන ගී කීමක් ඇති ද, කොතැන වැයුමක් ඇති ද, කොතැන කථා කීමක් ඇති ද, කොතැන තාලම් ගැසීමක් ඇති ද, කොතැන බෙර ගැසුමක් ඇති දැ යි බලා සිටී. ගෘහපති පුත්‍ර‍ය, මේ සය නෘත්‍ය මණ්ඩලාදියෙහි හැසිරීමේ ආදීනවයෝ ය.”

සූදුවේ ආදීනව සය.

“ඡ ඛො මෙ ගහපතිපුත්ත! ආදීනවා ජූතප්පමා දට්ඨානා-නුයොගෙ, ජයං වෙරං පසවති, ජිතො චිත්තමනුසොචති, සන්දිට්ඨිකා ධනඤ්ජානි, සභාගතස්ස වචනං න රූහති. මිත්තාමච්චානං පරිභූතො හොති, ආවාහ විවාහකානං අපත්ථිතො හොති අක්ඛධුත්තො පුරිස පුග්ගලො නාලං දාරාහරණායාති, ඉමෙ ඛො ගහපති පුත්ත! ඡ ආදීනවා ජූතප්පමාදට්ඨානානුයොගෙ.”

තේරුම:

“ගෘහපති පුත්‍ර‍ය, දූ කෙළියෙහි නිතර යෙදීමෙහි මේ ආදීනව සය ඇත්තේ ය. දිනීමෙන් සතුරෙක් ඇතිවේ. පැරදුනහොත් ශෝකය ඇති වේ. මෙලොව ධනයෙන් පිරිහේ. විනිශ්චය සභාවේ දී සූදුකාරයාගේ වචනය නො පිළිගැනේ. මිතුරන් විසින් වර්ජනය කරනු ලැබේ. සූදුකාරයා භාර්යාවක පෝෂණය කිරීමට සමතෙක් නො වේ යයි ආවාහ විවාහ කරන්නවුන් නො පතනු ලැබේ. ගෘහපති පුත්‍ර‍ය, මේ සය සූ කෙළියෙහි නැවත නැවත යෙදීමේ ආදීනවයෝ ය.”

පාපමිත්‍ර‍ සේවනයේ ආදීනව සය

“ඡ ඛො මෙ ගහපතිපුත්ත, ආදීනවා පාපමිත්තානුයොගෙ, යෙ ධුත්තා, යෙ සොණ්ඩා, යෙ පිපාසා, යෙ නෙකතිකා, යෙ වඤ්චනිකා, යෙ සාහසිකා, ත්‍යස්ස මිත්තා හොන්ති තෙ සහායා, ඉමෙ ඛො ගහපතිපුත්ත, ආදීනවා පාපමිත්තානුයොගෙ”

තේරුම:

“ගෘහපති පුත්‍ර‍ය, පාපමිත්‍ර‍යන් නිතර සේවනය කිරීමෙහි මේ දොස් සය ඇත්තේ ය. සූදුකාරයෝ ද ඔහුගේ මිතුරෝ වෙති, ස්ත්‍රී සොණ්ඩාදි සොණ්ඩයෝ (කෑදරයෝ) ද ඔහුගේ මිත්‍රයෝ වෙති, සුරා සොණ්ඩයෝ ද ඔහුගේ මිත්‍රයෝ වෙති. සමාන දෙයින් රවටන්නෝ ද ඔහුගේ මිත්‍රයෝ වෙති, අන් ක්‍ර‍මවලින් රවටන්නෝ ද ඔහුගේ මිත්‍රයෝ වෙති, සාහසිකයෝ ද ඔහුගේ මිත්‍රයෝ වෙති. ගෘහපති පුත්‍ර‍ය, මේ සය පාපමිත්‍ර‍යන් නිතර සේවනය කිරීමේ ආදීනවයෝ ය.

අලස බැව්හි ආදීනව සය

“ඡ ඛො මෙ ගහපතිපුත්ත! ආදීනවා ආලස්සානුයොගෙ, අතිසීතන්ති කම්මං න කරොති, අතිඋණ්හන්ති කම්මං න කරොති, අතිසායන්ති කම්මං න කරොති, අතිපාතොති කම්මං න කරොති, අති ඡාතොස්මීති කම්මං න කරොති, අතිධාතොස්මීති කම්මං න කරොති. තස්ස එවං කිච්චාපදෙස බහුලස්ස විහරතො අනුප්පන්නා චෙ ව භොගා නුප්පජ්ජනිති, උප්පන්නා ච භොගා පරික්ඛයං ගච්ඡන්ති, ඉමෙ ඛො ගහපතිපුත්ත, ආදීනවා ආලස්සානුයොගෙ.”

තේරුම:

“ගෘහපති පුත්‍ර‍ය, අලස බැව්හි යෙදීමේ මේ ආදීනව සය ඇත්තේ ය. අලසයා ඉතා සීතය යි වැඩ නො කරයි. ඉතා උෂ්ණය යි වැඩ නො කරයි. ඉතා සවසය යි වැඩ නො කරයි, ඉතා උදෑසනය යි වැඩ නො කරයි, බොහෝ බඩගිනි ඇත්තෙමැයි වැඩ නො කරයි, බොහෝ අහර වැළඳීමි යි වැඩ නො කරයි. මෙසේ වැඩට බාධා වන අන්‍ය කෘත්‍යයන් දැක්වීම් බහුල කොට වාසය කරන්නා වූ ඔහුට නූපන් භෝගයෝ නූපදිති. උපන් භෝගයෝ ද ක්ෂය වෙති. ගෘහපති පුත්‍ර‍ය, මේ සය අලස බැව්හි ආදීනවයෝ ය.”

මාපියෝ

දරුවන් ලත් අඹු සැමියෝ මා පියෝ නම් වෙති. දරුවන් ඇති බව ඔවුනට මහත් සතුටකි, සැපතෙකි. එහෙත් නො මනා දරුවන් ඇති බව ඔවුනට සැපතක් නොව නපුරෙකි. බඩුවක හොඳ නරක බව පිළිබඳ ව වග කිය යුත්තා බඩුව තනන තැනැත්තා ය. ඔහු හොඳින් තැනුව හොත් බඩුව වැඩ ඇති වටිනාකම ඇති සුන්දර දෙයක් වේ. හොඳින් නො තැනුව හොත් පලක් නැති නො වටිනා දෙයක් වේ. එමෙන් දරුවන් ගේ හොඳ නො හොඳ බව පිළිබඳ ව වග කිය යුත්තෝ ඔවුන් තනන මා පියෝ ය. ගුණ දහම් උගන්වා පාපමිත්‍ර‍ සේවනයෙන් මුදවා කල්‍යාණ මිත්‍ර‍යන්ගේ ආශ්‍ර‍යට පමුණුවා සිප් සතර උගන්වා දරුවකු තැනුව හොත් ඒ දරුවා හොඳ දරුවේ වේ. ඇතැම් මා පියවරු තමන් බොරු කීම්, සොරකම් කිරීම්, දූ කෙළීම්, මත්පැන් බීම් ආදි නොමනා කම් කරමින් දරුවන් හොඳින් තනන්නට සිතති. එහෙත් එය කිසි කලෙක සිදුවන්නක් නො වේ. මාපියන් නො මනාකම් කිරීම ම දරුවන්ට ඒවා කරන්නට උගැන්වීමකි. දරුවෝ මාපියන් අනුව ඒවා කරන්නට පටන් ගනිති. දරුවන් හොඳින් තනාගනු කැමති මා පියන් විසින් පළමු කොට තමන් දුසිරිතෙන් වැළකිය යුතු ය. නො මනා කොට දරුවන් තනන මා පියෝ දරුවන්ගේ සතුරෝ ය. නො මනා දරුවකු ඇති කර ගැනීම තමන්ට ද සතුරකු ඇති කර ගැනීම ය. එපමණක් නොව එය ලෝකයාටත් සතුරකු ඇති කිරීමකි. අසත්පුරුෂයා මුළු ලොවට ම සතුරෙකි. මාපියන්විසින් දරුවන්ගෙන් බලාපොරොත්තු වන ප්‍ර‍ධාන කරුණ මහළු කාලයේ දී උපකාර ලබා ගැනීම ය. එහෙත් දරුවන්ගෙන් කිසි සැලකිල්ලක් නො ලබා ඔවුනට දොස් කියමින් තැවි තැවී වෙසෙන මහලු මාපියෝ බොහෝ ය. ඔවුනට එසේ තැවෙන්නට සිදු වී තිබෙන්නේ නො මනා ලෙස දරුවන් තැනූ නිසා ය. තමනුත් තමාගේ මාපියන්ට උවටැන් කොට දරුවන්ට ආදර්ශය දී යුතුකම් උගන්වා තැනූ දරුවෝ මාපියන් අමතක නො කරති.

මාපියන්ගේ යුතුකම්

දරුවන් යහපත් අය වීමට ඔවුනට තමන් විසින් ඉටු කළ යුතු යුතුකම් මාපියන් දැනගෙන ඒවා ඉටු කළ යුතු ය. මාපියන්ගේ යුතුකම් තථාගතයන් වහන්සේ “සිගාල” ගෘහපති පුත්‍ර‍යා හට “පාපා නිවාරෙන්ති, කල්‍යාණෙ නිවෙසසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපෙන දාරෙන සංයොජෙන්ති, සමයෙ දායජ්ජං නීය්‍යාදෙන්ති” යනුවෙන් වදාළ සේක. පාපයෙන් වළක්වා ලීම ය, යහපතෙහි යෙදවීම ය, ශිල්ප උගැන්වීම ය, සුදුසු භාර්යාවක් හා යෙදවීම ය, සුදුසු කල්හි දායාදය පවරා දීම ය යන මේ පස දරුවන් සම්බන්ධයෙන්න මා පියන් විසින් ඉටු කළ යුතු යුතුකම් ය.

මා පියන්ගේ ගුණ

මනුෂ්‍යයා පළමුවෙන් මෙලොව උපදිනුයේ දින ගණනක්වත් ස්වශක්තියෙන් ජීවත් විය හැකි ශක්තියක් ඇතිව නො වේ. මාපියන්ගේ උපකාරය නො ලද හොත් හේ වහා මෙලොවින් තුරන් වන්නේ ය. දරුවකු ස්වශක්තියෙන් ජීවත් විය හැකි තත්ත්වයට පැමිණවීමට මාපියනට බොහෝ කලක් වෙහෙසෙන්නට දුක් ගන්නට සිදු වේ. මාපියෝ දරුවන් කෙරෙහි අප්‍ර‍මාණ කරුණාව ඇත්තෝ ය. තම තමාගේ ශරීරයේ කොටසක් වූ කිරි, දරුවාට පොවන්නී ය. තමාගේ ශරීරයේ උණුසුමින් දරුවාගේ ශරීරය උණුසුම් කරවන්නී ය. පිළිකුල් නො කොට සෙම්, සොටු, මල, මුත්‍රා ආදිය පහකොට දරුවා පවිත්‍ර‍ කරන්නී ය. මා පියෝ රෑ නිදි නො ලබා දරුවා රක්නාහ. තමන් සාගින්නෙන් පෙළෙමින් වුව ද දරුවාට ආහාර පාන අඩුවක් නැති වන ලෙස සපයා දීමෙන් ද දරුවාට රෝගාදි අන්තරායයක් ඇති වූ කල්හි තමන් සතු ධනය සියල්ල ම වුව ද වියදම් කිරීමෙන් ද තමන්ගේ ධනය අවසන් වූ කල්හි ණයට පවා ගෙන වියදම් කිරීමෙන් ද දරුවාට සංග්‍ර‍හ කරන්නාහ. මඳක් වැඩුණු දරුවෝ නොයෙක් විට මාපියනට වරද කරති. ඔවුන් සතු ධනයට හානි කරති. අකීකරු වෙති. එහෙත් කාරුණික වූ මාපියෝ ඔවුන්ගේ වරද කොතෙක් මහත් වුව ද ඉවසා තමන්ගේ අමාරුකම් නො බලා දරුවන් සුවපත් කරනු පිණිස බොහෝ වෙහෙසී ධනය සපයා ආහාර පාන වස්ත්‍රාදියෙන් ඔවුනට සංග්‍ර‍හ කරති. ශිල්ප ශාස්ත්‍ර‍ උගන්වති. තමන් සියල්ල ම ඉතා පිරිමසා කරගෙන සපයන ධනය දරුවන්ගේ මතු ප්‍රයෝජනය සඳහා තබති. මෙසේ දීර්ඝ කාලයක් මාපියන් විසින් දරුවනට කරන ගුණය මෙතෙකැ යි පමණ කළ නොහේ. ඔවුන්ගේ ගුණ අනන්ත ය. මාපියන් ගුණ දක්වන්නා වූ තථාගතයන් වහන්සේ -

“බ්‍ර‍හ්මාති භික්ඛවෙ, මාතාපිතුන්නමෙතං අධිවචනං පුබ්බදෙවාති භික්ඛවෙ, මාතාපිතුන්නමෙතං අධිවචනං, පුබ්බාචරියාති භික්ඛවෙ, මාතාපිතුන්නමෙතං අධිවචනං, ආහුණෙය්‍යාති භික්ඛවෙ, මාතාපිතුන්නමෙතං අධිවචනං, තං කිස්ස හේතු? බහූපකාරා භික්ඛවේ, මාතාපිතරෝ පුත්තානං. ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො” යනු වදාළ සේක.

මහණෙනි, බ්‍ර‍හ්මයා යනු මාපියනට නමෙකි. පූර්වදේවයෝ ය යනු මාපියනට නමෙකි. පූර්වාචර්‍ය්‍යයෝ ය යනු මාපියනට නමෙකි. ආයුණෙය්‍යයෝය යනු මාපියනට නමෙකි. කුමක් හෙයින් ද යත්? මාපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇතියෝ ය. දරුවන්ගේ දිවි රක්නෝ ය. කවා පොවා දරුවන් වැඩි දියුණු කරන්නෝ ය. දරුවනට මේ ලෝකය දක්වන්නෝ ය, යනු එහි තේරුම ය.

බ්‍ර‍හ්මයෝ සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා යන සතර ධර්මය පවත්වති. මාපියෝ ද සිය දරුවන් කෙරෙහි ඒ සතර ධර්මය පවත්වති. එබැවින් ඔවුහු දරුවන්ගේ බ්‍ර‍හ්මයෝ ය. දරුවා මවුකුස වසත් ම ඔවුනට අපගේ දරුවා කවදා දක්නමෝ දැයි මෙත්සිත උපදී. උපන් දරුවා හඬන කල්හි ඔවුනට දරුවා කෙරෙහි කරුණාව උපදී. දරුවා වැඩී සුරතල් බස් තෙපලමින් සෙල්ලම් කරන කල්හි ඔවුනට මුදිතාව උපදී. දරුවා ස්වශක්තියෙන් ජීවත්වන කල්හි ඔවුනට උපේක්ෂාව උපදී. මෙසේ මාපියෝ සිය දරුවන් කෙරෙහි මෛත්‍රී කරුණා මුදිතෝ පේක්ෂාවන් පවත්වන්නාහ.

උත්පත්තිදේවය, සංවෘතිදේවය, විශුද්ධිදේවය යි දෙවි තුන් කොටසෙකි. උත්පත්තියෙන් දෙවි වූ දෙව්ලෝ වැසියෝ උත්පත්ති දේව නම් වෙති. දේවය යි මහජනයා විසින් සම්මත කළ රාජාදීහු සංවෘතිදේව නම් වෙති. කෙලෙස් කිලුටෙන් පිරිසිදු වූ බුද්ධාදීහු විශුද්ධිදේව නම් වෙති. විසුද්ධිදේව වූ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා තමන්ට අපරාධ කරන්නවුන්ට ද නො කිපී ඔවුන්ට ද යහපතක් ම කරන සේක. මාපියෝ ද සිය දරුවන් තමන්ට කරන වරද ගණන් නො ගෙන ඔවුනට යහපත ම කරන්නාහ. ඒ කාරණයෙන් විශුද්ධි දේවයන් වැනි බැවින් මාපියෝ ද දේව නම් වෙති. මනුෂ්‍යයන් විසින්න උත්පත්තිදේවාදීන් හැඳින ගන්නේ පසුව ය. ඔවුන් පළමුවෙන් හැඳින ගන්නා වූ ද පිහිට ලබා ගන්නා වූ ද දෙවියෝ මාපියෝ ය. එබැවින් මාපියෝ දරුවන්ගේ පූර්වදේවයෝ ය.

මනුෂ්‍යයන් නොයෙක් ඇදුරන් කරා ගොස් ශිල්ප ශාස්ත්‍ර‍ උගන්නේ පසුව ය. පළමු ඉගෙනීම ලබන්නේ මාපියන් ගෙනි. එබැවින් මාපියෝ දරුවන්ගේ පූර්වාචාර්යයෝ ය.

වැඩිවියට පැමිණි දරුවන් විසින් තමන් බාල කාලයේ දී බොහෝ දුක් ගෙන කරුණාවෙන් පෝෂණය කළා වූ මාපියන් කොතෙක් දුර සිටියත් සිටිනා තැනකට ආහාර පාන වස්ත්‍රාදිය ගෙන ගොස් පුදා සත්කාර කළ යුතු ය. ඔවුන් දරුවන්ගෙන් පූජා සත්කාර ලැබීමට සුදුස්සෝ ය. එබැවින් ඔවුහු ආහුණෙය්‍යයෝ යයි කියනු ලැබෙත්. අනන්ත ගුණ ඇත්තා වූ මාපියන් කෙරෙහි දරුවන් විසින් පිළිපැදිය යුතු සැටි.

“තස්මාහි තෙ නමස්සෙය්‍ය - සක්කරෙය්‍යාථ පණ්ඩිතො

අන්නෙන අථ පානෙන - වත්ථෙන සයනේන ච

උච්ඡාදනෙන නහාපනෙන - පාදානං ධොවනෙන ච”

යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාළ සේක. “එසේ බ්‍ර‍හ්මාදීන් වන බැවින් නුවණැති දරුවා ඒ මාපියනට නමස්කාර කරන්නේ ය. ආහාරයෙන් ද පානයෙන් ද වස්ත්‍රයෙන් ද ශයනයෙන් ද ඇඟ ඉලීමෙන් ද නෑවීමෙන් ද පා සේදීමෙන් ද සත්කාර කරන්නේ ය” යනු එහි තේරුම ය.

ධන සැපයීම කරන වැඩිවිය පැමිණි දරුවන්ට මිස බාල දරුවන්ට මා පියනට ආහාරපානාදියෙන් සංග්‍ර‍හ නො කළ හැකි ය. මාපියන්ගේ කටයුතුවලට ආධාර කිරීම වැඳීම යන මේවා බාල දරුවන් විසින් ද කළ හැකි ය. මාපියනට වැඳීම බාල දරුවන්ට මාපියන් විසින් ම පුරුදු කළ යුතු ය. ශ්‍රේෂ්ඨ වන්දනාව වූ පසඟ පිහිටුවා වැඳීම නිතර කළ හැකියක් නො වේ. දෙඅත් එක් කොට හිස නමා කරන වන්දනාව සෑම තැන දී ම කළ හැකි වන්දනාවෙකි. ගෙයින් පිට වී පාසල් ආදියට යන කල මාපියනට එසේ වැඳ අවසර ගෙන යෑමටත් මාපියන් පිටත ගොස් සිය නිවසට පැමිණෙන අවස්ථාවල දී එසේ වැඳ පිළිගැනීමටත් දරුවන්ට පුරුදු කරවිය යුතුය. සුදුසු අවස්ථාවල දී පසඟ පිහිටුවා වැඳීමට ද පුරුදු කරවිය යුතුය.

දරු වූ හැම දෙන ම මාපියන්ගෙන් ලත් උපකාර ගැන ඔවුනට ණය කාරයෝ ය. ඒ ණයින් නිදහස් වීමට ගිහියන් විසින් තබා පැවිදි වූ දරුවන් විසින් ද මා පිය උපස්ථානය කළ යුතු ය. පැවිද්දන් ගිහි කටයුතු හැර ධන සැපයීම හැර අනුන්ගෙන් යැපෙන නිර්ධන පුද්ගල කොටසක් බැවින් මාපියනට ජීවත් වීමට අපහසුවක් නොමැති නම් උපස්ථාන නො කළාට ද වරදක් නැත. ආහාරපානාදිය නො ලබා මාපියෝ දුක් විඳිත් නම් පිඬු සිඟා දීමෙන් වුව ද ඔවුනට උපස්ථාන කළ යුතු ය. මා පියනට කොතෙක් සම්පත් ඇතත් පැවිදි දරුවාගෙන් ද සත්කාර බලාපොරොත්තු වෙත් නම්, එසේ බලාපොරොත්තු වන මාපියනට පැවිද්දා විසින් ද සත්කාර කළ යුතුය. නො කරත හොත් වරදෙකි. මාපියන්ගේ බලාපොරොත්තුව ඇතත් නැතත් ගිහි දරුවන් විසින් මාපිය උපස්ථානය කළ යුතු ම ය. නො කිරීම වරදෙකි.

මාපියන්ගෙන් කිසි ධනයක් නො ලබා තමන් විසින් ම ධනය සපයා පොහොසත් ව සිටින ඇතැම් දරුවෝ “තමනට මාපියන්ගෙන් ලැබුණු දෙයක් නැත”යි ඔවුන් ගැන නො සලකති. එය බලවත් වරදෙකි. කෙනකුට ස්වශක්තියෙන් ධනය සැපයිය හැකි වන්නේ ද බාල කාලයේ දී මාපියන් විසින් පෝෂණය කළ නිසා ය. එබැවින් ස්වශක්තියෙන් ලබන ධනය ද මාපියන්ගේ ආධාරයෙන් තොරව ලබන්නක් නො වන බව දැන ශක්ති පමණින් මාපිය උපස්ථානය කළ යුතු ය. මාපියන්ගේ ධනයෙන් මාපිය උපස්ථානය කිරීම පැසසිය යුත්තක් නො වේ. ධනය දිය හැකි නම් දරුවන් නැත ද උපස්ථායකයන් හිඟ නැත. කුලීකාරයකුගෙන් ද ඒ උපස්ථානය ලබා ගත හැකි ය. තමන් විසින් ම ධනය සපයා එයින් මාපිය උපස්ථානය කිරීම ම උසස් උපස්ථානය ය. පැසසිය යුතු උපස්ථානය ය. මා පිය උපස්ථානයට ඔවුන්ගෙන් ධනය බලාපොරොත්තු නොවිය යුතු ය. මාපියන්ගෙන් කිසි ධනයක් නො ලැබුවත් බාල කාලයේ දී ඔවුන් විසින් කළ උපකාරය ඉතා මහත් බැවින් කළ හැකි නම් තමන්ගේ මුළු කාලය ම වුව ද එය ගැන ගත කොට ඔවුනට උපස්ථාන කිරීමට වටනේ ය. සියවසක් මා පියන්ට උපස්ථාන කළත් මාපියන්ගේ ණය නො ගෙවන බව “මාතෘපිතෘ ගුණ” සූත්‍රයේ දක්වා තිබේ.

මාතෘ පිතෘ ගුණ සූත්‍ර‍ය

“ද්වින්නාහං භික්ඛවෙ, න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. එකෙන භික්ඛවෙ, අංසෙන මාතරං පරිහරෙය්‍ය, එකෙන අංසෙන පිතරං පරිහරෙය්‍ය, වස්සසතායුකො වස්ස සජීවී, සො ච නෙසං උච්ඡාදන පරිමද්දන නහාපන සම්බාහනෙන. තෙ පි තත්ථෙ ව මුත්තකරීසං චජෙය්‍යුං. නත්වෙව භික්ඛවෙ, මාතා පිතුන්නං කතා වා හොති, පතිකතං වා, ඉමිස්සා ච භික්ඛවෙ, මහා පඨවියා පහූත සත්තරතනාය මාතා පිතරො ඉස්සරියාධිපච්චෙ රජ්ජෙ පතිට්ඨාපෙය්‍ය, නත්වෙව භික්ඛවෙ, මාතුපිතුන්නං කතං වා හොති, පතිකතං වා, තං කිස්ස හේතු? බහූපකාරා භික්ඛවෙ, මාතාපිතරො පුත්තානං ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො.

යො ච ඛො භික්ඛවෙ, මාතාපිතරො අස්සද්ධො සද්ධා සම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති, දුස්සීලෙ සීල සම්පදාය, මච්ඡරි චාගසම්පදාය, දුප්පඤ්ඤෝ පඤ්ඤා සම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති, එත්තාවතා ඛො මාතාපිතුන්නං කතඤ්ච හොති, පතිකතඤ්ච, අතිකතඤ්චාති.”

තේරුම:

“මහණෙනි, මම දෙදෙනකුට ප්‍ර‍ත්‍යුපකාර කිරීම පහසු යයි නො වදාරමි. කවර දෙදෙනකුට ද යත්? මවය පියාය යන දෙදෙනාට ය. සිය වසක් ආයු ඇත්තා වූ සිය වසක් ජීවත් වන්නා වූ දරුවෙක් එක් උරහිසකින් මව ද එක් උරහිසකින් පියා ද උසුලා සිටින්නේ ද හෙතෙමේ ම ඔවුනට සුවඳ ගැල්වීමෙන් ද ඇඟ පිරිමැදීමෙන් ද නෑවීමෙන් ද අත් පා මිරිකීමෙන් ද උපස්ථාන කරන්නේ ද ඔවුහු එහි ම මල මුත්‍ර‍ කරන්නාහු ද මහණෙනි, එතෙකින් ද මාපියනට උපකාර කළේ හෝ නො වන්නේ ය. ප්‍ර‍ත්‍යුපකාර කළේ හෝ නොවන්නේ ය. මහණෙනි, යමෙක් බොහෝ සත්රුවන් ඇත්තා වූ මේ මහපොළොවට අධිපති වූ සක්විති රජයෙහි මාපියන් පිහිටවා ද එතෙකින් ද මා පියන්ට උපකාර කළේ හෝ නොවන්නේ ය. ප්‍ර‍ත්‍යුපකාර කළේ හෝ නො වන්නේ ය. කුමක් හෙයින් ද යත්? මහණෙනි, මාපියෝ දරුවනට බොහෝ උපකාර ඇත්තෝ ය. දරුවන්ගේ දිවි පවත්වන්නෝ ය. දරුවන් පෝෂණය කරන්නෝ ය. දරුවන්ට මේ ලෝකය දක්වන්නෝ ය.

“මහණෙනි, යම් දරුවෙක් අශ්‍ර‍ද්ධාවත් මාපියන් ශ්‍ර‍ද්ධා සම්පත්තියෙහි සමාදන් කරවා ද ඇතුළත් කරවා ද පිහිටවා ද දුශ්ශීල වූ මාපියන් ශීල සම්පත්තියෙහි මසුරු වූ මාපියන් ත්‍යාග සම්පත්තියෙහි ප්‍ර‍ඥා විරහිත මාපියන් ප්‍ර‍ඥාසම්පත්තියෙහි සමාදන් කරවාද ඇතුළත් කරවා ද පිහිටවා ද, එතෙකින් මාපියනට උපකාර කෙළේ ද ප්‍ර‍ත්‍යපුකාර කෙළේ ද අධික කොට උපකාර කෙළේ ද වේය” යනු මාතෘ පිතෘ ගුණ සූත්‍රයේ තේරුමය.

මලමුත්‍ර‍ පහ කරවීමට පවා නො බස්වා සිය වසක් මුළුල්ලේ මාපියන් කර පිට තබා ගෙන කරන උපස්ථානය ද ඔවුන් චක්‍ර‍වර්ති රාජ්‍යයෙහි පිහිටවීම ද ඔවුන්ගෙන් ලත් උපකාරයට පමණ නො වන බව ද සැදැහැ නැති මා පියන් සැදැහැවතුන් කරවීම ද දුශ්ශීල මාපියන් සිල්වතුන් කරවීම ද මසුරු මාපියන් නො මසුරන් කිරීම ද නුවණ නැති මාපියන් නුවණැතියන් කිරීම ද මාපියන් කළ උපකාරයට සෑහෙන උපකාරය වන බව මාතෘ පිතෘ ගුණ සූත්‍රයෙන් දැක් වේ. එබැවින් මාපිය උපස්ථානය කරන දරුවන් විසින් ඔවුන්ට ආහාර පානාදියෙන් උපස්ථාන කිරීම පමණකින් නො නැවතී තමන්ගේ මාපියෝ ගුණධර්ම නැත්තෝ වෙත් නම් තමා විසින් කාරණා කියා දීමෙන් හෝ අන්‍යයන් ලවා අනුශාසනා කරවීමෙන් හෝ ඔවුන් ගුණවතුන් කරවන්නට ද උත්සාහ කළ යුතු ය. එසේ කළ තැනැත්තේ ම මාපියනට සෑහෙන උපකාරයක් කළේ වන්නේ ය.

දුශ්ශීලයන් ශීලයෙහි පිහිටවීම ය යන්නෙහි අදහස වරදවා තේරුම් ගෙන ඇතැම්හු සුදුවත් සපයා දී මහලු මාපියන් පෝයට සිල් සමාදන් කරවන්නට උත්සාහ කෙරෙති. එයත් මාපියනට කරන උපකාරයක් වේ. එහෙත් මාතෘ පිතෘ ගුණ සූත්‍රයෙන් දැක්වෙන දුශ්ශීල මාපියන් සිල්වතුන් කරවීම යනු පොහොයට සිල් සමාදන් කරවීම නොව මාපියෝ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, බොරු කීම, සුරාපානය යන මේවායින් සමහරක් හෝ ඒ සියල්ල ම හෝ කරන්නෝ වෙත් නම් ඔවුන් ඒවා නො කරන්නවුන් කිරීම ය. පොහොයට සිල් සමාදන් නො වීමෙන් මිනිසෙක් දුශ්ශීලයෙක් නො වේ. දුශ්ශීලයා ය යි කියනුයේ පස් පවින් නො වැළකෙන්නාට ය.

මාපිය උපස්ථානයේ අනුසස්

ස්වභාවයෙන් ම දරුවන්ට කරුණාව ඇත්තා වූ මාපියෝ තමනට උපස්ථාන කරන ගුණවත් කීකරු දරුවාට විශේෂයෙන් ම අනුකම්පා කරති. එබඳු දරුවාගේ යහපත සඳහා කළ හැකි හැම දෙයක් ම මාපියෝ ඉතා ඕනෑ කමින් ම ඉටු කරති. මාපියන්ගේ කරුණාව ලැබීම දරුවන්ගේ යහපතට මහත් වූ හේතුවකි. එබැවින් තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍යතුමාට “මාතා පිතානුකම්පිතස්ස මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකංඛිතබ්බා නො පරිහානි” යි මහානාමය, මාපියන් විසින් අනුකම්පා කරන ලද කුලපුත්‍ර‍යාට දියුණුවක් ම වන්නේ ය. පිරිහීමක් නො වන්නේ ය”යි වදාළ සේක. මාපියන්ගේ අනුකම්පාව ලැබීම මාපිය උපස්ථානයේ එක් අනුසසෙකි. මාපිය උපස්ථානය කරන සත්පුරුෂයාට අන්‍ය සත්පුරුෂයෝ ද අනුකම්පා කරති. පසසති. ඇතැම් සොරු පවා මාපිය උපස්ථානය කරන්නාගේ වස්තුව පැහැර නො ගැනීමෙන් ඔහුට අනුකම්පා කෙරෙති. සමහර විට රෞද්‍ර‍ වූ යක්ෂ රාක්ෂසයෝ පවා මා පිය උපස්ථානය කරන්නාට අනුකම්පා කරති. දෙවියෝ ද අනුකම්පා කරති. සුතන නම් වූ දුගී පුරුෂයා මාපිය උපස්ථානය කළ නිසා යක්ෂයාගෙන් අනුකම්පාව ද ලබා පොහොසතෙක් ද විය. සාම කුමාරයෝ මාපිය උපස්ථානය නිසා රාජ කරුණාව හා දේව කරුණාව ද ලැබූහ.

“යෙ මාතරං වා පිතරං වා - මච්චො ධම්මේන පොසති

ඉදෙව නං පසංසන්ති - පෙච්ච සග්ගෙ පමොදති”

යම් මිනිසෙක් මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කෙරේ ද ඔහුට මෙලොව නුවණැත්තෝ පසසිත. හේ මරණින් මතු ස්වර්ගයෙහි ඉපිද සතුටුවේ ය, යනු එහි තේරුමයි.

මාපියන්ට නො සැලකීමේ ආදීනවය

මාපියන් බොහෝ දුක් විඳ දරුවන් පෝෂණය කරනුයේ අමාරුවක දී ඔවුහු තමන්ටත් පිහිට වෙති ය යන අදහසිනි. තමා පෝෂණය කා වූ ඔවුන් ගේ ඒ අදහස හැකි පමණින් ඉටු නො කොට තමාගේ වැඩ පමණක් බලාගෙන තමා පමණක් ප්‍රීති වෙමින් කල් යවන දරුවා අධම අසත්පුරුෂයෙකි. දරුවන්ගෙන් පිහිටක් නො ලබා දුඃඛිත ව වෙසෙන මාපියන් හට තමන් ආදරයෙන් පෝෂණය කළ දරුවන්ගේ නො සැලකීම සිහි වන කල්හි මහත් ශෝකයක් ඇති වේ. එය දරුවන්ට නපුරෙකි. මාපියන්ගේ හදවතේ ඇවිළෙන ඒ ගින්න අකෘතඥ දරුවන්ගේ යස ඉසුරු දවයි. ඔවුහු ඒ හේතුවෙන් නොයෙක් ව්‍යසනයන්ට පැමිණෙති. එබැවින් තථාගතයන් වහන්සේ:

“යො මාතරං වා පිතරං වා - ජිණ්ණකං ගත යොබ්බනං

පහුසන්තො න භරති - තං පරාභවතො මුඛං”

යනු වදාළ සේක. “යම් දරුවෙක් තරුණ බව ඉක්මුණා වූ මහලු මව හෝ පියා හෝ ඔවුන් පෝෂණය කළ හැකිව සිට ම පෝෂණය නො කෙරේ නම් එය පිරිහීමේ හේතුවක් වේය” යනු එහි තේරුම ය. එබඳු අසත්පුරුෂයකුට විපතක් වූ කල්හි “මාපියන්ට පවා දයාවක් නැති මේ අසත්පුරුෂයාට උපකාරයට යෑමෙන් කවර ඵලයක් දැ” යි සෙස්සෝ ඔහුට අනුකම්පා නො කෙරෙති. “මේ අසත්පුරුෂයාට මෙසේ වීම ම හොඳය” යි කියති. මාපියන්ට නො සැලකීම කොපමණ මහත් වරදක් කොට පැරණියන් සැලකුවා ද කියතහොත් පෙර එක් කලෙක “මහලු මාපියන් දුක් විඳින්ට හැර තමන් සැප විඳින දරුවන් මරා දැමිය යුතුය” යන නීතියක් පවා දඹදිව පැවැත්තේ ය. මා පියනට නො සලකන තැනැත්තා මරණින් මතු නරකයට යන බව ද මෙසේ දක්වා තිබේ.

“එවං කිච්ඡාභතො පොසො මාතු අපරිචාරකො

මාතරි මිච්ඡා චරිත්වා නිරයං සො උපපජ්ජති

එවං කිච්ඡාභතො පොසො පිතු අපරිචාරකො

පිතරි මිච්ඡා චරිත්වා නිරයං සෝ උපපජ්ජති”

“මෙසේ මාපියන් විසින් දුක සේ පෝෂණය කළා වූ මවට උපස්ථාන නො කරන්නා වූ තැනැත්තේ මව් කෙරෙහි නො මනා කොට පිළිපැදීම නිසා නරකයෙහි උපදී. මෙසේ මාපියන් දුක සේ පෝෂණය කරන ලද්දා වූ පියාට උපස්ථාන නො කරන්නා වූ දරුවා පියා කෙරෙහි නො මනා කොට පිළිපැදීමෙන් නරකයෙහි උපදී ය” යනු ගාථාවල තේරුම ය.

මාපියන්ට වරද කොට ඔවුන්ගේ සිත් රිදවීම බලවත් පාපයෙකි. එය සමහර විට මෙලොවදී ම විපාක දෙන්නේ ය. මාපියන්ගේ කිනම් වරදක් ඇති වුවත් දරුවන් විසින් එය ඉවසිය යුතුය. ඒවා ගැන ඔවුන් හා කලහයට නො යා යුතු ය. වචනයකින් පවා ඔවුන්ගේ සිත් නො රිදවිය යුතුය. නො දත් කම නිසා හෝ කෝපය නිසා හෝ මාපියනට වරදක් කරන ලද්දේ නම් ඔවුන් ක්ෂමා කරවා ගත යුතු ය. තමා අතින් වූ වරදට සමාව ලබාගන්නට කලින් මාපියන් කළුරිය කළේ නම් මළ සිරුරට හෝ වැඳ සමාව ඉල්ලිය යුතුය. සමාව ගැනීමෙන් පාපය තුනී වේ. මාපියන් නො කැමති ඔවුන් වළක්වන දේවල් ඔවුනට අකීකරු ව ඔවුන් ගේ සිත් රිදවා නො කළ යුතු ය. එසේ කරන ක්‍රියා ඵල දායක වන්නේ ද නොවේ. මව වළක්වද්දී ඇයට ද ගසා අකීකරුව වෙළඳාමට ගිය මිත්තවින්දක නමැත්තා එයින් ම නැසුණේ ය. තවත් එසේ නැසුණෝ බොහෝ ය. දෙලොව වැඩ කැමති සැම දෙන ම තම තමන්ගේ මාපියනට හැකි පමණින් උපස්ථාන කිරීමෙන් ද කීකරු ව හැසිරීමෙන් ද ඔවුන්ගේ සිත් සතුටු කරත්වා!

දරුවෝ

දරුවෝ වනාහි අත්‍ර‍ජය, ඤාතකය, ඛෙත්තජය, අන්තේවාසිකය, දින්නක ය යි පස් කොටසෙකි. අත්‍ර‍ජ යනු තමන් නිසා උපන් දරුවෝ ය. ඤාතක යනු නෑකමින් දරු වන්නෝ ය. ඛෙත්තජ යනු සමීපයෙහි ඉපදීමෙන් දරු වූවෝ ය. ඔවුන් ඇත්තේ දෙව්ලොව ය. දිව්‍යස්ත්‍රීහු දරුවන් නො වදති. ඇකයෙහි හෝ ළයෙහි හෝ යහනෙහි හෝ උපන් තැනැත්තා දෙවියෝ දරු කොට සලකති. අන්තේවාසිකය යනු ගෝලයෝ ය. ගුරුවරයා විසින් දරුවකු මෙන් සලකා ශිෂ්‍යයා හට හොඳ නරක කියා දී සිප් සතර උගැන්විය යුතුය. ශිෂ්‍යයා විසින් ද ගුරුවරයා පියකු මෙන් සැලකිය යුතුය. අනුන් විසින් දරුවකු කොට දෙන ලදුව තමා විසින් පෝෂණය කරන ලද දරුවා දින්නක නම් වේ. ඒ පස් කොටසක් වූ දරුවන්ගෙන් අත්‍ර‍ජ නම් වූ දරුවෝ ප්‍ර‍ධාන වෙති.

අතිජාත දරුවෝය, අනුජාත දරුවෝය, අවජාත දරුවෝ යි ද දරුවෝ තුන් කොටසක් වෙති. මාපියන්ට වඩා ගුණවත් වූ දරුවෝ අතිජාත පුත්‍රයෝ ය. මාපියන් හා සමාන ගුණ ඇති දරුවෝ අනුජාත පුත්‍ර‍ නම් වෙති. මාපියන්ට වඩා ගුණයෙන් හීන දරුවෝ අවජාත පුත්‍රයෝ ය.

“අතිජාතං අනුජාතං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා

අවජාතං න ඉච්ඡන්ති සො හොති කුල ගන්ධනො.”

“පණ්ඩිත මාපියෝ අතිජාත වූ ද අනුජාත වූ ද පුත්‍ර‍යන් කැමති වන්නා හ. අවජාත දරුවන් නො කැමති වන්නාහ. අවජාත පුත්‍ර‍යා කුලය නසන්නෙක් වන්නේ ය” යනු එහි තේරුම ය.

පණ්ඩිත මාපියන් දරුවන් ගෙන් බලාපොරොත්තු වන කරුණු

පණ්ඩිත මාපියෝ කරුණු පසක් බලාපොරොත්තුවෙන් දරුවන් තනති. ඒ බව තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පඤ්ච ඨානානි සම්පස්සං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා

භතො වා නො හරිස්සති කිච්චං වා නො කරිස්සති

කුලවංසො චිරං ඨස්සති දායජ්ජං පටිපජ්ජති,

අථ වා පන පෙතානං දක්ඛිණං අනුපදස්සති,

ඨානානෙතානි සම්පස්සං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා

“පණ්ඩිත මාපියෝ කරුණු පසක් බලමින් දරුවකු කැමති වෙති. අප විසින් පෝෂණය කරන ලද තැනැත්තේ මහලු කාලයේ දී අප පෝෂණය කෙරේය. වැඩක් ඇති වූ කල්හි අපට එය කරන්නේය. දරුවා නිසා අප ගේ කුලපරම්පරාව බෝ කල් පවත්නේ ය, අපගේ උරුමය පවත්නේ ය, අප මළ කල්හි අප උදෙසා දන් දෙන්නේ ය යන මේ කරුණු බලාපොරොත්තුවෙන් නුවණැත්තෝ දරුවකු කැමති වන්නාහ” යනු එහි තේරුමයි. බාල කාලයේ දී තමන් පෝෂණය කළ මාපියන් හට ඔවුන් බලාපොරොත්තු වන කරුණු පස ඉටු කිරීම දරුවකුගේ පරම යුතුකම ය. දරුවෝ ඒ කරුණු පස ඉටු කෙරෙත්වා!

ගුරුවරු

මිනිසා උත්පත්තියෙන් කිසි ම ධර්මයක් ශිල්පයක් ශාස්ත්‍ර‍යක් දන්නේ නො වේ. කිසිවක් නො දත් හෙතෙමේ ලොව හැසිරෙනුයේ වනයෙහි හැසිරෙන අන්ධ මීමකුගේ විලාසයෙනි. ඔහුගේ අන්ධ ජීවිතයෙන් තමාට හෝ ලෝකයාට කිසි යහපතක් සිදු නොවේ. හේ දෙලොවින් ම පිරිහෙන්නේ ය. කිසිවක් නො දත් ඒ මනුෂ්‍යයා ගුරුන් විසින් ධර්ම ශාස්ත්‍ර‍යක් උගන්වනු ලැබූ කල්හි ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සකලාර්ථයන් සිදු කිරීමට සමතෙක් වේ. කිසි ම යහපත් වැඩකට නුසුදුසුව තිබූ ඒ අන්ධ ජීවිතය සකලාර්ථ සාධනනයට යෝග්‍ය වූවක් කර දෙන ගුරුවරයා ඔහුට පරමෝපකාර කාරකයෙකි. එහි වටිනාකම පමණ කළ නොහේ. ගුරුවරු මාපියන් මෙන් ම දරුවන්ට අනන්ත ගුණ ඇතියෝ ය. එබැවින් සිසුන් විසින් මාපියන් කෙරෙහි මෙන් ම ගුරුන් කෙරෙහි සෑම කල්හි ස්වකීය ගෞරවාදරය පැවැත්විය යුතු ය.

ගුරු ගෝලයන්ගේ යුතුකම්

ගුරු ගෝලයන්ගේ යුතුකම් තථාගතයන් වහන්සේ විසින් සිගාල ගෘහපති පුත්‍ර‍යාට මෙසේ වදාරා තිබේ.

“පඤ්චහි ඛො ගහපතිපුත්ත, ඨානෙනි අන්තෙවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨාතබ්බා, උට්ඨානෙන, උපට්ඨානෙන, සුස්සූසාය, පාරිචරියාය, සක්කච්චං සිප්ප පටිග්ගහණෙන.”‍

තේරුම:

“ගෘහපති පුත්‍ර‍ය, අතවැසියා විසින් දක්ෂිණ දිශාව යයි කියනු ලබන ගුරුවරු කරුණු පසකින් උපස්ථාන කළ යුත්තාහු ය.” කවර කරුණු පසකින් ද යත්? “දුටුවිට හුනස්නෙන් නැඟීමෙන් ද, දවසට තුන්වරක් උපස්ථානයට එළඹීමෙන් ද, කියන දේ මැනවින් ඇසීමෙන් ද, අසුන් පැනවීම්, පැන් ගෙන ඊම් ආදි වත් කිරීමෙන් ද, ශිල්පය මනා කොට උගෙනීමෙන් ද යන මේ කරුණු පසෙනි.”

“ඉමෙහි ඛො ගහපති පුත්ත, පඤ්චහි ඨානෙහි අන්තේවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨිතා, පඤ්චහි ඨානෙහි අන්තේවාසිං අනුකම්පන්ති, සුවිනීතං විනෙන්ති, සුග්ගහිතං ගාහාපෙන්ති, සබ්බසිප්පසුත සමයක්ඛායිනො භවන්ති, මිත්තා මච්චෙසු පටියාදෙන්ති, දිසාසු පරිත්තාණං කරොන්ති, ඉමෙහි ඛො ගහපති පුත්ත, පඤ්චහි ඨානෙහි අන්තෙවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨිතා. ඉමෙහි පඤ්චහි ඨානෙහි අන්තෙවාසිං අනුකම්පන්ති.”

තේරුම:

“ගෘහපති පුත්‍ර‍ය, අතවැසියා විසින් මේ කරුණු පසින් උපස්ථාන කරන ලද දක්ෂිණ දිසාවය යි කියනු ලබන ආචාර්යවරයෝ කරුණු පසෙකින් අතවැසියා හට අනුකම්පා කෙරෙති. කවර කරුණු පසෙකින් ද යත්? කළ යුතු නො කළ යුතු දෑ කියා දී මනා කොට හික්මවති, කරුණු නොවරදවා මනා කොට උගන්වති, ඉතුරු කර නො ගෙන ශිල්ප ශාස්ත්‍ර‍ය උගන්වති, ශිෂ්‍යයාගේ උගත්කම සමත් කම කියා මිත්‍ර‍යන්ට ශිෂ්‍යයා හඳුන්වා දෙති. ශිෂ්‍යයා ආරක්ෂා කරති. ගෘහපති පුත්‍ර‍ය, මේ කරුණු පසින් ආචාර්ය්‍යවරයෝ අතවැසියාට අනුකම්පා කරන්නාහ.”

මේ යුතුකම් දේශනය කර තිබෙන්නේ ගුරුවරු ශිෂ්‍ය්‍යන්ගේ ස්වාමිත්වයෙහි සිටි අතීත ලෝකයේ පැවති සිරිත් විරිත්වලට අනුව ය. එදාට වඩා අද ලෝක තත්ත්වය බොහෝ වෙනස් ය. වර්තමාන ගුරු ශිෂ්‍යයෝ දැක්වුණු කරුණු වලින් උපදෙස් ගෙන කාලානුරූප පරිද්දෙන් තම තමන්ගේ යුතුකම් ඉටු කරත්වා! එයින් දෙපක්ෂයට ම යහපත ම සිදු වන්නේ ය. සිය යුතුකම් ඉටු කිරීමෙන් ගුරුන් සතුටු කොට ඔවුන්ගේ අනුකම්පාව ලබන ශිෂ්‍යයා දෙලොවෙහි ම යස ඉසුරට පැමිණෙන්නේ ය. ගුරුනට වරද කිරීම වනාහි මාපියන්ට වරද කිරීම සේ මහත් වූ පාපයකි. එය මෙලොව ද පරිහානියට කරුණෙකි.

ස්වාමිවරුන්ගේ හා සේවකයන්ගේ යුතුකම්

සේවකයන් කරන වැඩවලින් ස්වාමිවරු පොහොසත් වෙති. සුඛිත වෙති. එබැවින් සේවකයෝ ස්වාමිවරුන්ගේ පරම මිත්‍රයෝ ය. සේවකයෝ ද ස්වාමිවරුන්ගෙන් ලැබෙන වැටුපෙන් දිවි පවත්වා ගනිති. දුක් නැති කර ගනිති. සැප ලබා ගනිති. එබැවින් ස්වාමිවරු සේවකයන්ගේ පරම මිත්‍රයෝ ය. සේවකයන් යහපත්වීම ස්වාමිවරුන්ගේ නො පිරිහීමට හා දියුණුවට හේතුවකි. එසේ ම ස්වාමිවරු යහපත්වීම සේවකයන්ගේ යහපතට බලවත් හේතුවෙකි. හොඳ සේවකයන් නැති ස්වාමිදරුවන්ට ද හොඳ ස්වාමියකු නැති සේවකයන්ට ද සැපය හා දියුණුව ලැබීම දුෂ්කර ය. ස්වාමි සේවක දෙපක්ෂය ඔවුනොවුන්ට හිතවත් නොවීමේ හේතුව තම තමන් අයත් යුතුකම් ඉටු නො කිරීම ය. ස්වාමි සේවක දෙපක්ෂය ම තම තමා අයත් යුතුකම් දැනගෙන ඒවා මැනවින් ඉටු කළ යුතු ය.

“පඤ්චහි ඛො ගහපති පුත්ත! ඨානෙහි අයිරකෙන පච්ඡිමාදිසා දාසකම්මකාර පච්චුපට්ඨාතබ්බා යථාබලං කම්මන්ත සංවිධානෙන, භත්තවෙතානානුප්පදානෙන, ගිලානුපට්ඨානෙන, අච්ඡරියානං රසානං සංවිභාගෙන, සමයෙ වොස්සග්ගෙන” යි තථාගතයන් වහන්සේ සිගාල ගෘහපති පුත්‍ර‍යා හට ස්වාමිදරුවන්ගේ යුතුකම් පසක් දක්වා වදාළ සේක.

  1. හැම සේවකයකු ලවා හැම වැඩ ම කර ගන්නට නො ගොස් සේවකයන්ගේ ශක්තිය බලා ඔවුන්ගේ ශක්තියේ සැටියට ඒ ඒ සේවකයාහට කළ හැකි වැඩ පමණක් කරවීම ස්වාමියාගේ එක් යුතුකමෙකි.
  2. සේවකයාගේ තත්ත්වය හා ඔහු කරන වැඩ වල සැටි ද බලා සුදුසු පරිද්දෙන් බත් වැටුප් දීම ස්වාමියාගේ එක් යුතුකමෙකි.
  3. සේවකයා ගිලන් වුවහොත් ආහාර බෙහෙත් ආදිය පිණිස මුදල් දීම් ආදියෙන් ඔහුට සංග්‍ර‍හ කිරීම ස්වාමියාගේ එක් යුතුකමෙකි.
  4. ආශ්චර්‍ය්‍යවත් රසයක් හෙවත් විශේෂ ආහාරයක් ලදහොත් ඔවුන් සමග බෙදා ගෙන අනුභව කිරීම ස්වාමියාගේ එක් යුතුකමෙකි.
  5. පමණ ඉක්මවා වැඩ ගන්නට නො ගොස් සුදුසු කාලයේ දී වැඩ නැවැත්වීම හා නිවාඩ දිය යුතු දිනවල දී නිවාඩු දීම ද ස්වාමියාගේ එක් යුතුකමෙකි.

ස්වාමියා විසින් තමාගේ යුතුකම් මැනවින් ඉටු කරන කල්හි සේවකයෝ ස්වාමියාට හිතවත් වී ඔවුන්ගේ යුතුකම් ද මැනවින් ඉටු කරන්නට පටන් ගනිති. සේවකයන්ගේ යුතුකම් මෙසේ වදාරා තිබේ.

“ඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි අයිරකෙන හෙට්ඨිමා දිසා දාසකම්මකාරා පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි අයිරකං අනුකම්පන්ති, පුබ්බට්ඨායිනො ච හොන්ති, පච්ඡානිපාතිනො ච, දින්නාදායිනො ච, සුකතකම්මකාරකා ච, කිත්තිවණ්ණහරා ච.”

ස්වාමියාට පළමුවෙන් නින්දෙන් නැගී සිටීමය, ස්වාමියාට පසු නින්දට යාමය, සොරෙන් කිසිවක් නො ගෙන ස්වාමියා දුන් දෙය පමණක් ගැනීමය, හොඳට වැඩ කිරීමය, ස්වාමියාගේ ගුණ ජනයා අතර පතුරුවා ලීමය යන මේ කරුණු පස සේවකයන්ගේ යුතුකම් ය. මේ යුතුකම් දේශනය කර තිබෙන්නේ එක් ගෙයක වෙසෙන ස්වාමි සේවකයන්ට සුදුසු පරිද්දෙනි. වෙන් වෙන් වූ නිවෙස්වල වෙසෙන ස්වාමි සේවකයෝ තැනට සුදුසු පරිදි සිය යුතුකම් ඉටු කොට සමගියෙන් සතුටින් තමන්ගේ මෙලොව පරලොව වැඩ සිදුකර ගනිත්වා! යම් ස්වාමියකු නිසා තමා ජීවත් වේ නම් ඒ ස්වාමියාට වරද කිරීම විශේෂ පාපයක් බව සේවකයෝ සලකත්වා!

මිත්‍රයෝ

සෑම කල්හි ම සියල්ල ම තමන්ගේ සමත් කමින් කාහටවත් සිදු කර ගත හැකි නොවේ. අනුන්ගේ උපකාර සොයන්නට සිදු වන අවස්ථා කාහටත් පැමිණේ. එබඳු අවස්ථාවල දී මිත්‍ර‍යන් නැත්තෝ අමාරුවට පත්වෙති. සමහර අවස්ථාවල දී ඉතා දුබල මිතුරකුගෙන් ලැබෙන සුළු උපකාරයේ අගය ද ඉතා මහත් වේ. එබැවින් නුවණැත්තෝ අනුන් හා මිතුරකම් පවත්වති. මිත්‍රයෝ නොයෙක් ආකාර වෙති. අංග සතකින් යුක්ත මිත්‍ර‍යා මිත්‍ර‍යන් අතුරෙන් ශ්‍රේෂ්ඨය. එබැවින් තථාගතයන් වහන්සේ විසින්:

“සත්තහි භික්ඛවෙ! අංගෙහි සමන්නාගතෝ මිත්තො සෙවිතබ්බො, කතමෙහි සත්තහි? දුද්දදං දදාති, දුක්කරං කරොති, දුක්ඛමං ඛමති, ගුය්හමස්ස ආවිකරොති, ගුය්හං අස්ස පරිගූහති, ආපදාසු න ජහති, ඛීණෙන නාතිමඤ්ඤති, ඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො.”

යනු වදාරන ලදී. “මහණෙනි, අංග සතකින් යුක්ත මිත්‍ර‍යා සේවනය කළ යුතුය. කවර අංග සතකින් ද යත්? දීමට දුෂ්කර දෙය දෙයි. කිරීමට දුෂ්කර දෙය කරයි, ඉවසීමට දුෂ්කර දෙය ඉවසයි. රහස් ඔහුට කියයි, ඔහුගේ රහස් සඟවයි, විපත්හිදී නොහරී, ධනක්ෂයය නිසා පහත් කොට නොසිතයි. මහණෙනි, මේ අංග සතින් යුක්ත මිත්‍ර‍යා සේවනය කළ යුතු ය” යනු එහි තේරුමයි.

  1. මිත්‍ර‍ බවක් දක්වා ගෙන සිටින බොහෝ දෙනා සිය මිතුරන්ට වචනයෙන් හා නො වටනා දේවලින් ද සංග්‍ර‍හ කරන නමුත් විපතට පත් මිත්‍ර‍යකු උපකාරයක් ඉල්ලා පැමිණි කල්හි කාරණයට සෑහෙන උපකාරයක් නො කරති. එදාට තමාගේ අමාරුවක් හෝ දක්වති. මිත්‍ර‍කම හෝ කෙළවර කරති. එසේ නොකොට, යම්කිසි විපාකයක් නිසා දිළිඳු ව පිහිට සොයා ආ පිළිය නම් සිටු තුමාට තමන්ගේ වස්තුවෙන් භාගයක් පරිත්‍යාග කළ සංඛ සිටාණන් සේ දීමට දුෂ්කර දේදීම යහපත් මිතුරාගේ එක් අංගයෙකි.
  2. අමාරු අවස්ථාවක දී වතුර ටිකක් දුන් කෙනකු නොකළ සොරකමකට හසුවී මරන්නට ගෙන යනු ලබනු දැක ඔහු මුදවා ගනු පිණිස දරුවන් ද සමග දාසියක් වන්නට ඉදිරිපත් වූ ස්ත්‍රිය සේ මිතුරන් වෙනුවෙන් දුෂ්කර දේ කිරීම ශ්‍රේෂ්ඨ මිත්‍ර‍යාගේ එක් අංගයෙකි.
  3. අන්‍යයන් කරන ගැරහුම් ඉවසමින් පාපක නමැති මිත්‍ර‍යකු සිය නිවසෙහි රඳවා ගෙන ඔහුට සංග්‍ර‍හ කළා වූ අනේපිඬු මහසිටාණන් මෙන් මිත්‍ර‍යන් නිසා ඉවසීමට දුෂ්කර වූ ගැරහුම් අලාභ ආදිය ඉවසීම ශ්‍රේෂ්ඨ මිත්‍ර‍යාගේ එක් අංගයකි.
  4. රහස් කිසිවකුට නොකිය යුතු බව මහෞෂධ පණ්ඩිතයන් විසින් ප්‍ර‍කාශිත ය. එහෙත් මිත්‍ර‍යනට කියයුතු රහස් ද ඇත්තේ ය. තමාගේ එබඳු රහස් මිත්‍ර‍යාට කීම යහපත් මිත්‍ර‍යාගේ අංගයකි.
  5. කොපමණ මහත් ලාභයක් නිසාවත් විපතකින් මිදීම නිසාවත් අන් කරුණක් නිසාවත් සිය මිතුරන්ගේ රහස් නො හෙලි කිරීම ශ්‍රේෂ්ඨ මිත්‍ර‍යාගේ එක් අංගයෙකි.
  6. මිත්‍ර‍යාට විපතක් වී තිබෙනු දුටු කල්හි අත්හැර නො දමා ඔහුට පිහිට වීම ශ්‍රේෂ්ඨ මිත්‍ර‍යාගේ එක් අංගයෙකි.
  7. ඇතැම්හු මිත්‍ර‍කම් පවත්වමින් සිටියකු පිරිහී දිළිඳු වූ කල්හි ඔහු පහත් කොට සිතති. මිත්‍ර‍කම ද හැර දමති. එසේ නො කොට සැම කල්හි ම මිත්‍ර‍යාට එක සේ සැලකිලි කිරීම ශ්‍රේෂ්ඨ මිත්‍ර‍යාගේ එක් අංගයෙකි.

මිත්‍ර‍කම් පැවැතීමේ හා බිඳීමේ හේතු

කෙනකු හා මිත්‍ර‍ වීම පහසු වැඩකි. දුෂ්කර කාරණය නම් මිත්‍ර‍ත්වය දීර්ඝ කාලයක් නො බිඳ පවත්වා ගැනීම ය. මිත්‍ර‍ත්වය කල් පැවැත්විය හැකකේ නුවණැතියන්ට ය. අඥයෝ මිත්‍ර‍ වී නොබෝ කලකින් ම ඔවුනොවුන් බිඳෙති. බිඳුණා වූ ඔවුහු ඔවුනොවුන්ට සතුරුකම් කරමින් සිටිනු මිස නැවත මිත්‍ර‍ත්වය සකස් කර නො ගනිති. මිත්‍ර‍ වූ නුවණැත්තෝ පහසුවෙන් නො බිඳෙති. යම්කිසි හේතුවකින් ඔවුනොවුන් බිඳුනාහු ද ඔවුහු නැවත මිතුරු වෙති. සැම කල්හි ම වෛරය නො පවත්වති. එහෙයින් තථාගතයන් වහන්සේ-

සචෙ පි සන්තො විවදන්ති - ඛිප්පං සන්ධීයරෙ පුන

බාලා පත්තා ව භිජ්ජන්ති - න තෙ සමථ මජ්ඣගු”

යනු වදාළ සේක.

“සත්පුරුෂයෝ ඔවුනොවුන් බිඳුනාහු ද වහා සමගියට පැමිණෙති. අඥයෝ මැටි බඳුන් බිඳෙන්නාක් මෙන් ඔවුනොවුන් බිඳෙති. ඔවුහු නැවත සමගියට නො පැමිණෙතිය” යනු එහි තේරුම යි.

මැටි බඳුන බිඳුණු පසු නැවත සන්ධි නො කළ හැකි ය. බාලයෝ මැටි බඳුන් සේ නැවත සමගි නොකළ හැකි ලෙස බිඳෙති. රන් බඳුන බිඳුණේ ද නැවත ප්‍ර‍කෘතිමත් කළ හැකි ය. නුවණැත්තා වූ සත්පුරුෂයෝ බිඳුණාහු ද රන් බඳුන් සේ නැවත සමගි කළ හැකිය.

මිතුරුකම් කල් පවත්වනු කැමතියන් විසින් මිතුරු දහම නමැති බැම්ම තහවුරු වීමට හා බිඳීමට ඇති හේතු දැන ගත යුතු ය. අනුන්ගෙන් කොතෙක් ලදත් සෑහීමකට නො පැමිණෙන ස්වභාවය වූ මහිච්ඡතාවය, තමාගෙන් දෙයක් අනුන්ට දීමට නො කැමති බව වූ මසුරුකමය, කෙළෙහි ගුණ නො දැනීම ය, නො විමසා කටයුතු කිරීම ය, වංක අදහස් ය, වරද නො පිළිගැනීම ය, කේලාම් පිළිගැනීමය යන ආදිය මිත්‍ර‍ත්වය බිඳීමේ හේතූහු ය.

ලද දෙයින් සතුටු වන ස්වභාවය ය, වඩ වඩා අනුන්ගෙන් ගන්නට බලාපොරොත්තු නොවන බවය, ත්‍යාගවත් බව ය, කෙළෙහි ගුණ දැනීම ය, ඉක්මන් නො වී විමසා දුර බලා වැඩ කිරීම ය, අවංක බව ය, වරද පිළිගැනීම ය, කේලාම් නො පිළිගැනීම ය යනාදිය මිතුරුකම් කල් පැවතීමේ හේතූහු ය.

මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ

අඤ්ඤදත්ථුහරය, වචීපරමය, අනුප්පියභාණිය, අපාය සහායය යි මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ (මිත්‍ර‍යන් වැනි සතුරෝ) සතර දෙනෙක් වෙති.

  1. අනුන්ට යහපතක් වනු පිණිස නොව අනුන්ගෙන් ගැනීම පිණිස මිතුරු වන තැනැත්තේ අඤ්ඤදත්ථුහර නම් වූ මිත්‍ර‍්‍රප්‍ර‍තිරූපකයා ය. තමා ගෙන් කිසිවක් නො දී අනුන්ගෙන් ම ගැනීමය, ස්වල්ප උපකාරයක් කොට මහත් දෙයක් ගන්නට බලාපොරොත්තු වීමය, තමාට බයක් පැමිණි කල්හි පමණක් සතුටු කරවීම පිණිස පක්‍ෂ කරගනු පිණිස අනුන්ට වැඩ කිරීමය, තමාගේ ප්‍රයෝජනය පිණිස ම මිතුරන් ඇසුරු කිරීමය යන මේවා අඤ්ඤදත්ථුහරයා ගේ ලක්‍ෂණයෝ ය.
  2. ක්‍රියාවෙන් කිසිවක් නැති ව කථාවෙන් පමණක් අනුන්ට සංග්‍ර‍හ කරන තැනැත්තේ වචීපරම නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. “ඊයේ පෙරෙයිදා පැමිණියේ නම් මේ මේ දේ දෙන්නට තිබුණේ ය. මේ මේ දෙය කරන්නට තිබුණේය”යි අතීතයෙන් සංග්‍ර‍හ කිරීමය, පසුවට දෙමිය කරමි යි අනාගතයෙන් සංග්‍ර‍හ කිරීම ය, කථාවෙන් පමණක් නිරර්ථක ලෙස සංග්‍ර‍හ කිරීම ය, කරුණක් පැමිණි කල්හි තමාගේ අමාරුවක් දැක්වීම ය යන මේවා වචීපරමයාගේ ලක්‍ෂණයෝ ය.
  3. යුක්තිය අයුක්තිය නො සලකා සිදුවන වැඩ අවැඩ නොසලකා කෙසේ හෝ අනෙකා සතුටු කරවීම පිණිස ඔහුගේ පැත්ත ගෙන කථා කරන්නා වූ තැනැත්තේ අනුප්‍රියභාණී නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. අනෙකා කරන්නට යන හොඳ නරක දෙක ම අනුමත කොට කථා කිරීමය, ඉදිරියෙහි ගුණ කීමය, නැති තැන දොස් කීමය යන මේවා අනුප්‍රියභාණියාගේ ලක්‍ෂණයෝ ය.
  4. සුරාපානාදි පව්කම් කිරීමට එක් වන්නා වූ තැනැත්තා අපායසහාය නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. සුරාපානයට යහළු වීමය, නො කල්හි ඇවිදීමට යහළු වීමය, නැටුම් ආදිය දක්නට යෑමට යහළු වීමය, සූදුවට යාමට යහළු වීමය යන මේවා අපායසහායයා ගේ ලක්‍ෂණයෝ ය.

මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ මිත්‍ර‍යන් සේ පෙනී සිටින සතුරෝ ය. පාප මිත්‍රයෝ යයි කියනුයේ ද ඔවුනට ම ය. පාපමිත්‍ර‍ සේවනය ඉතා නපුරෙකි. එයින් නොවිය හැකි පිරිහීමක්, නොවිය හැකි විපතක් නැත. අසූ කෝටියක් ධනයට හිමි ව සිටි මහධන සිටු පුත්‍ර‍යා පාප මිත්‍ර‍ සේවනයෙන් සිඟමනට පත් විය. අජාසත් රජ සෝවාන් වූ පරම ධාර්මික රජකුගේ පුත්‍ර‍යකු ද වී, ඒ ජාතියේ ම සෝවාන් වීමට තරම් පෙර පින් ඇතියකු ද වී පාපමිත්‍ර‍ සේවනයේ වරදින් පිය රජු මරා අපායට ගියේ ය. එසේ පාපමිත්‍ර‍ සේවනයෙන් පිරිහුණු පුද්ගලයෝ ඉතා බොහෝ ය. එබැවින් මෙලොව පරලොව වැඩ කැමති සැම දෙනා විසින් ම සර්පාදීන්ගෙන් මෙන් ම පාප මිත්‍ර‍යන්ගෙන් ද පරෙස්සම් විය යුතු ය. පාපමිත්‍ර‍යා සර්පයාට වඩා නපුරෙකි.

කල්‍යාණ මිත්‍රයෝ සතර දෙන

උපකාරක මිත්‍ර‍යාය, සමාන සුඛදුඃඛ මිත්‍ර‍යාය, අර්ථඛ්‍යායි මිත්‍ර‍යාය, අනුකම්පක මිත්‍ර‍යාය යි කල්‍යාණ මිත්‍රයෝ සතර දෙනෙක් වෙති.

  1. උපකාර වුවමනා තැන දී අවංකව මෛත්‍රී සහගත සිතින් මිතුරන්ට උපකාර කරන තැනැත්තා උපකාරක මිත්‍ර‍යා ය, ආරක්ෂා කළ යුතු අවස්ථාවල දී මිතුරා ආරක්‍ෂා කිරීම ය, මිතුරාගේ වස්තුව ආරක්‍ෂා කිරීම ය, විපතේ දී පිහිට වීම ය, කරුණක් පැමිණි කල්හි ධනය දීමෙන් උපකාර කිරීමය යන මේවා උපකාරක මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.
  2. මිතුරාට වන සුව දුක් තමාට වන සුව දුක් සේ සලකන මිත්‍ර‍යා සමාන සුඛදුඃඛ මිත්‍ර‍යා ය. තමා ගේ රහස් මිතුරාට කීම ය, මිතුරාගේ රහස් අනෙකකුට නො දැන ගන්නට ආරක්‍ෂා කිරීම ය, විපතේ දී හැර නො යෑමය ය, මිතුරා වෙනුවෙන් ජීවිතය වුව ද පරිත්‍යාග කිරීමට කැමති බව ය යන මේවා සමාන සුඛදුඃඛ මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.
  3. දෙලොව යහපත සිදු කර ගැනීමේ මග පෙන්වන්නා වූ සත්පුරුෂයා අර්ථඛ්‍යායි මිත්‍ර‍යා ය. පාපයෙන් වැළැක්වීම ය, යහපතෙහි පිහිටවීම ය, නො දත් දෑ කියා දීමය, ස්වර්ගයට මඟ කියා දීමය යන මේවා අර්ථඛ්‍යායි මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.
  4. සිය මිතුරාට මවක මෙන් අනුකම්පා කරන්නා වූ තැනැත්තා අනුකම්පක මිත්‍ර‍යා ය. මිතුරාගේ පිරිහීම ගැන කණගාටුවීම ය, දියුණුව ගැන සතුටුවීම ය, දොස් කීම් වැළැක්වීම ය, ගුණ කියන්නවුන්ට පැසසීම ය යන මේවා අනුකම්පක මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.

කල්‍යාණ මිත්‍ර‍ සම්පත්තිය තථාගතයන් වහන්සේ විසින් ඉතා උසස් කොට වර්ණනා කරන ලද්දකි. සියලු දුකින් මිදීමට හා ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සකල සම්පත්තීන් ම ලැබීම ද කල්‍යාණ මිත්‍ර‍ සේවනය බලවත් හේතුවකි. කල්‍යාණ මිත්‍ර‍ සේවනයෙන් තොරව උසස් සම්පත් ලැබීමට දුෂ්කර ය. එබැවින් සකලාර්ථ සිද්ධියට හේතු වන්නා වූ මේ කල්‍යාණ මිත්‍ර‍යන් හැඳින දරුවකු විසින් මවක සේවනය කරන්නාක් මෙන් ආදරයෙන් ඔවුන් සේවනය කළ යුතුය යි තථාගතයන් වහන්සේ වදාළ සේක. කල්‍යාණ මිත්‍ර‍යන් සේවනය කොට සියල්ලෝ ම සියලු දුකින් මිදී පරම සුන්දර අමෘත මහා නිර්වාන සම්පත්තියට පැමිණෙත්වා! තථාගතයන් වහන්සේගේ ධර්මය ලෙව්හි බැබලේවා!

මහාචාර්‍ය්‍ය

රේරුකානේ චන්දවිමල

මහානායක ස්ථවිර පාදයන් වහන්සේ

විසින් සම්පාදිත

බෞද්ධයාගේ අත්පොත

නිමි.