අභිධර්ම මාර්ගය
රේරුකානේ චන්දවිමල හිමි
පටුන
පටුන

අභිධර්ම මාර්ගය

(දසවන මුද්‍ර‍ණය)

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.

2549/2006

ලේකම්ගේ සටහන්....

අවුරුදු 2549 ක් පැරණි බුද්ධ දේශනාව ග්‍ර‍න්‍ථාරූඪ කරන තෙක් හා ඉන් පසුවත් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ රැකගෙන ආ විවිධ නිකායගත, හීනයාන - මහායාන භික්‍ෂු පරම්පරාව ලෝක බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍රවෙයි. නිර්මාණවාදී ආගම්, දැනුම් ක්‍ෂෙත්‍රයෙන් පිටමං වන විට මානව චින්තනය අයාලේ යා නොදී රැකගත හැකි ආගමක් හා දර්ශනයක් ඉතිරි කර තබන්නට ගත් වෑයම සුළුපටු නොවන නිසා ය.

මේ දැනුම් සම්භාරය තුළ අභිධර්‍මය ද එක් කොටසකි. බුදුදහමේ විශේෂත්‍වය වන “විදර්ශනාව”, බෙදා බැලීම හා හේතු-ඵල න්‍යාය පදනම් කරගනී. අභිධර්‍මය අවධාරණය කරන්නේ එම න්‍යායයයි. අභිධර්‍ම පිටකය ධර්‍මයේ කොටසක් ලෙස සළකන භික්‍ෂු පර්ෂදයන් අතර, ඉතා කුඩා සිකපදයක් පවා වත් නොකර රක්‍ෂා කරන්නට ප්‍ර‍තිඥා දුන් ථෙරීය භික්‍ෂු පර්ෂදය ගෙනා අභිධර්‍මය පසුකාලීන වර්‍ධනයකැයි ඉවත ලන්නට කිසිදු සාධාරණ හේතුවක් නොපෙනෙන්නේ අනික් කාහටත් වඩා නිර්මල වූ දහමක් රැකගන්නට උන්වහන්සේලාට තිබූ උවමනාව නිසා ය.

බුද්ධත්‍වය ලැබූ මොහොතේ තමන් අවබෝධ කොටගත් ධර්‍මය වටහා ගන්නට සමත් කෙනකු නැතැයි බුදුන් වහන්සේ කල්පනා කළේ එහි ඇති ගැඹුරු බව නිසා ය. දීර්‍ඝ කාලයක් ලෝකායත කරුණු ඔස්සේ පැවති සිතුවිලි දහරකට එය අලුත් දෙයක් නිසා ය. එහෙත් උන්වහ්නසේ දේශනා කළ දහම තේරුම් ගන්නට සමත් පිරිසක් සිටියහ. කල්යත්ම උන්වහන්සේගේ සමහර සූත්‍ර‍ දේශනාවල අභිධර්‍ම න්‍යාය ප්‍ර‍කට විය. සමහර ශ්‍රාවක - ශ්‍රාවිකාවෝ මේ ගැඹුරු දහම් න්‍යාය ප්‍ර‍චලිත කළහ. බුදුන් වහන්සේගේ අභිධර්‍ම මාතිකා, නුවණින් අග්‍ර‍ සැරියුත් හිමියන් විසින් තම ශිෂ්‍ය පරම්පරාවට විස්තාරිතව උගැන්වූ බව සාම්ප්‍ර‍දායික පිළිගැනීම යි.

අභිධර්‍මය උගැන්ම හැමට ප්‍රිය වූවක් නොවේ. එදත් - අදත් එය එ සේම ය. අභිධර්‍මය “අබුද්ධ දේශිතයකැ” යි මුල්වරට අසන්නට ලැබුණේ අනුරපුර යුගයේ දී ය. බුද්ධඝෝෂ හිමියෝ (අත්‍ථසාලිනියෙන්) ඊට පිළිතුරු දුන්හ. රීස් ඩේවිස් ආදී උගතුන්ගේ පාලි සාහිත්‍ය පෙල ගැස්ම අනුව නැවත විශ්ව විද්‍යාල උගතුන් වෙතින් මේ මතය පලවිය. රේරුකානේ මහනාහිමියෝ (අභිධර්‍මයේ මූලික කරුණු) ඊට පිළිතුරු දුන්හ. නැවත මෙකල ධර්‍මකථික භික්‍ෂු පර්ෂදයක් විසින් මේ මතය මුදාහැර ඇත. සූත්‍ර‍ දේශනා ඇසුරින් පමණක් බුදු දහම තේරුම් කරන මේ යතිවරයන් වහන්සේලා බුදුදහමේ එක් වැදගත් කොටසක් අවලංගු කරන්නේ නම් ආතර් සී. ක්ලාක් වියතාණන් දකින අනාගතයේ බුදුසමය ලබාගන්නා මුල්තැන ඊට ලැබිය හැකිද?

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමත්, එහි ඇති වානිජ වටිනාකමත් මත සිංහල බෞද්ධයන් ඉන් ඉවත් කර බලය ලබාගැනීමේ ප්‍ර‍යත්නය බොහෝ කලෙක පටන් පැවතෙන්නකි. මුලින් ම එය ආයුධ බලයෙන් සිදුවිය. වරෙක එය අධ්‍යාපනය ඔස්සේ චින්තාමය පරිවර්‍තනයෙන් සිදුවිය. රැකියාදීම් ආදී අල්ලස් ක්‍ර‍මයෙන් තවත් වරෙක ක්‍රියාත්මක විය. පසුව විනයවර්‍ධන වේෂයෙන් හා තාපස වේෂයෙන් ආ පෙළඹවීමට බොහෝ දෙනෙක් රැවටුනාහ. සංස්කෘතික ආක්‍ර‍මණයෙන් ආ පෙළඹවීමට ද බොහෝ දෙනා අසුවී සිටිති. සාමය හා ආධාර ඔස්සේ ආ පෙළඹවීමට පාලකයෝ ද හසුවූහ. තමන් ද නොදැන භික්‍ෂූන් වහන්සේත් මෙයට නතු වුවහොත් ඉරණම කුමක් වේද?

හේන්පිටගෙදර ඤාණසීහ, යක්කඩුවේ ප්‍ර‍ඥාරාම, රේරුකානේ චන්‍දවිමල වැනි නාහිමිපාණන් වහන්සේලාගේ දැනුම, ඕනෑකම හා නිර්භීත ප්‍ර‍කාශ සිහිවන්නේ මේ පසුබිම තුළය.

2006.01.08 වන දිනට අභිධර්‍මය ඇතුළුව බුදුදහම සමාජයේ ප්‍ර‍චලිත කරන්නට ලියූ රේරුකානේ නාහිමියන්ගේ පැවිද්දටත්, ශ්‍රී ලංකා ශ්වේජින් නිකායටත් සියවසරක් පිරෙයි. මෙවැනි අවස්ථාවක මේ සද්ව්‍යාපාරය සාර්ථක කරන්නට වෙහෙස වූ ගොඩිගමුවේ සෝරත, හේන්ගොඩ කල්‍යාණධම්ම, හේනේගම කල්‍යාණසිරි යන ස්වාමීන්ද්‍ර‍යන් වහන්සේලාත්, අනුක්‍ර‍මණිකාවන් ලියූ හර්බට් පතිරණ මහතාත්, කැපවීමෙන් මුද්‍ර‍ණයෙන් දායක වූ රත්නායක අප්පුහාමි, එම්.ජේ. පෙරේරා, කේ.ටී.ඒ. ජයවර්‍ධන යන මුද්‍ර‍ණාලයාධිපතිවරුන් පින් පමුණුවමින් සිහි කිරීම යුතුකමකි. එමෙන් ම අප සංරක්‍ෂණ මණ්ඩලයේ සාමාජිකව සිට දැනට නැති හොරණ වජිරඤාණ නාහිමියන් හා ඒ.ඩී.ටී. ජයවර්‍ධන, කරුණාසේන ජයලත් යන මහතුන් ද සිහිකරමි. එමෙන් ම විනයාලංකාරාරාමය හා එම භික්‍ෂු පරපුර පෝෂණය කර රැක ගැන්මට එදා-මෙදා කටයුතු කළ දායක පරපුර ද මා සිත පෙල ගැසෙයි.

තම මුද්‍ර‍ණ දැනුමින් අපත් දැනුවත් කරමින් පොත් මුද්‍ර‍ණයට දායක වන සිකුරු ප්‍ර‍කාශක ගිහාන් අනුරංග ජයවර්‍ධන මහතාත්, පරිඝණක වර්‍ණ සංයෝජනයෙන් දායක වන සාලිය ජයකොඩි මහතාත් කෘතවේදීව සිහි කරමි.

නිබඳ මඟ පෙන්වන කිරිඔරුවේ ධම්මානන්‍ද සමිඳුන් හා උන්වහ්නසේගේ සහෝදර - ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ සහාය පිළිබඳව ද තෘප්තියෙන් සඳහන් කරමි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි

ගරු ලේකම්

ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්‍ෂණ මණ්ඩලය

2005 දෙසැම්බර් මස 08 වන දින,

පොකුණුවිටදී ය.

හැඳින්වීම

අප විසින් සම්පාදිත දහම් පොත් කියවූ ගිහි පැවිදි බොහෝ දෙනකුන් විසින් හා දහම් පාසල් පවත්වන, ඒවායේ උගන්වන බොහෝ දෙනකුන් විසින් ද තේරුම් ගැනීමට උගෙනීමට උගැන්වීමට පහසු අභිධර්ම ග්‍ර‍න්ථයක් සම්පාදනය කරන ලෙස නොයෙක් වර ආරාධනා කළ බැවින් අප විසින් අභිධර්ම මාර්ගය නැමැති මේ ග්‍ර‍න්ථය සම්පාදනය කරන ලදී.

දැනට ඇත්තා වූ අභිධර්ම පාඩම් පොත්වල බොහෝ තැන් තේරුම් ගැනීමට අපහසු වී ඇත්තේ ටීකා ග්‍ර‍න්ථවල එන පාළි පාඨ ඒ සැටියෙන් ම සිංහලට පෙරලා ඒ පොත්වල නොයෙක් තැන්වල යොදා තිබීම නිසා ය. අභිධර්ම මාර්ගය නමැති මේ ග්‍ර‍න්ථය සම්පාදනය කිරීමේදී අපි ඒ ක්‍ර‍මය අනුගමනය නො කෙළෙමු.

අප විසින් මේ ගත සම්පාදනය කර ඇත්තේ කෙසේ කිවහොත් ඒ ඒ කාරණය සිසුනට පහසුවෙන් අවබෝධ කරගත හැකිවේදැ යි සිතීමෙදී අපට වැටහුණු හැටියට ය. අන් බසකින් පෙරළාගත් කිසිවක් මේ ග්‍ර‍න්ථයෙහි යොදා නැත. මේ ග්‍ර‍න්ථයෙහි හා අන් අභිධර්ම පාඩම් පොත්වල ඇති වෙනස තේරුම් ගැනීමට නිදසුන් කීපයක් මෙසේ ය:-

එක් අභිධර්ම පාඩම් පොතක චිත්ත චෛතසික රූප නිර්වාණ යන පරමාර්ථ සතරින් චිත්තය හඳුන්වා ඇත්තේ මෙසේ ය:-

“චින්තේතීති චිත්තං, අරමුණ සිතන හෙයින් චිත්ත නම් වේ. මේ වචනාර්ථයෙන් අරමුණු සිතන්නා වූ ස්වභාවය චිත්ත යයි කියනු ලැබේ.”

අන් පොතක චිත්තය හඳුන්වන්නේ මෙසේ ය‍

සිතන්නේ හෙවත් අරමුණු දැනගන්නේ චිත්තය ය. සිත ඉපදීම පිළිබඳ අන්‍ය හේතු ඇත ද අරමුණ දැනගැන්ම එහි ප්‍ර‍ධාන හේතුව බව දත යුතුයි.

මේ ග්‍රන්ථයේ සිත හඳුන්වා ඇත්තේ මෙසේ ය.

“පරමාර්ථ සතර අතුරෙන් චිත්තය යනු දැනීම ය. සිතය කියනුයේ ද එයට ය.

එක් පොතක චෛතසිකය හඳුන්වා ඇති සැටි.

“චේතසි භවං චෙතසිකං, සිතෙහි වූයේ චෛතසික නමි. මේ වචනාර්ථයෙන් සිතෙහි පහළ වන ඵස්ස (ගැටීම) වේදනා (විඳීම) ආදි ස්වභාව ධර්ම සමූහය චෛතසික යයි කියනු ලැබේ.”

අන් පොතක ඇති සැටි.

“චිත්තයෙහි වූවෝ හෙවත් චිත්තයෙහි යෙදුණෝ චෛතසිකයෝ ය.”

මෙහි චෛසික හඳුන්වා ඇත්තේ මෙසේ ය.

“සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇති වන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍ර‍ව ඇතිවන්නා වූ අන්‍ය ක්‍රියාවෝ චෛතසිකයෝ ය.

එක් පොතක රූපය හඳුන්වා ඇති සැටි.

“රුප්පතීති රූපං” විකාර වේනු යි රූප නමි. මේ වචනාර්ථයෙන් ශීතෝෂ්ණාදියෙන් විකාර වන ස්වභාව ධර්ම සමූහය රූපය යි කියනු ලැබේ.”

අන් පොතක ඇති සැටි.

“ශීත උෂ්ණ ආදියෙන් විකාරයට පැමිණෙන්නේ රූපය ය.”

මෙහි රූප දක්වා ඇති සැටි.

“සත්ත්ව ශරීර හා බාහිර වස්තූන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපයෝ ය.”

එක් පොතක නිර්වාණය හඳුන්වා ඇති සැටි.

“වානතෝ නික්ඛන්තං නිබ්බානං” වානය යි කියන ලද තෘෂ්ණාවෙන් නික්මුණා වූ ස්වභාවය නිබ්බාන නමි. මෙහි වාන නම් කුදුමහත් භවයන් එකට බැඳ ගලපන අර්ථයෙන්් තෘෂ්ණාවමැ යි.”

අන් පොතක නිවන හඳුන්වා ඇති සැටි.

“වාන යනු තෘෂ්ණාව ය. ඒ වාන සඞ්ඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මුණේ නිර්වාණය ය. රාගගිනි ආදිය නිවන්නේ හෝ නිර්වාණය යි.”

මෙහි නිර්වාණය හඳුන්වා ඇති සැටි.

“රාගාදි කෙලෙස් ගිනිවලින් හා ජාති ජරා ව්‍යාධි මරණාදි දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛස්වභාවය නිර්වාණය ය.

මෙහි සියලු ම පාඩම් සම්පාදනය කර ඇත්තේ ද හැකිතාක් පොදු ජනයා අතර ව්‍යවහාර කරන වචන යෙදීමෙනි. මෙහි අප්‍ර‍සිද්ධ වචන යොදා ඇත්තේ, ප්‍ර‍සිද්ධ වචනයන් සොයා ගත නුහුණු තැන්වල පමණෙකි. එබැවින් මේ පොත දැනට ඇත්තා වූ අනික් පොත්වලට වඩා පහසුවෙන් කියවා තේරුම් ගත හැකි වනු ඇත. උත්සාහවන්තයකුට ගුරුවරයකු ඇසුරු නො කොට වුව ද මේ පොතින් අභිධර්මය උගත හැකි වනු ඇත.

දැනට භාවිත කරන අභිධර්ම පාඩම් පොත් සියල්ල ම වාගේ සම්පාදනය කර ඇත්තේ අභිධර්මාර්ථ සංග්‍ර‍හය අනුව ය. මෙය සම්පාදනය කර ඇත්තේ ද එසේම ය. එහෙත් මෙය අභිධර්මය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇතිකර ගැනීම සඳහා උගෙනීම කරන පින්වතුන් උදෙසා සම්පාදනය කරන ලද්දක් බැවින් වඩා ප්‍රයෝජනයකුත් නො මැතිව, උගෙන ගන්නා තැනැත්තාට බොහෝ වෙහෙසෙන්නට සිදු වන, අභිධර්මාර්ථ සංග්‍ර‍හයෙහි දැක්වෙන ඇතැම් කරුණු මේ පොතට ඇතුළත් නො කරන ලදී. එසේ ම අන් අභිධර්ම පාඩම් පොත්වල ඇතුළත් වී ඇති වැඩි ප්‍රයෝජනයක් නැති, ඇතැම් කරුණු ද මේ පොතට ඇතුළු නො කරන ලදී.

සමහර තැනකදී අන් අභිධර්ම පාඩම් පොත්වල ඇතුළු වී නැති ප්‍රයෝජනවත් කරුණු මේ පොතට ඇතුළු කර ඇත්තේ ය. ස්වරූප විභාග වැඩිදුරට පුහුණු කරගන්නට වුවමනා වන්නේ අභිධර්ම ප්‍ර‍කරණ උගෙනීමේ දී පහසු වනු පිණිස ය. එතරම් දුරට උගෙනීම කරන්නට බලාපොරොත්තුව නැති පින්වතුන්ට, වඩා ස්වරූප විභාග පුහුණු කිරීමෙන් වෙහෙසක් මිස විශේෂ ප්‍රයෝජනයක් නැත. එබැවින් වැඩිදුර ස්වරූප විභාග ද මේ පොතට ඇතුළු නො කරන ලදී.

මේ පොතට ඇතුළු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇතිකරගන්නා කෙනකු විසින් අවශ්‍යයෙන් දත යුතු කරුණු පමණෙකි. එබැවින් මේ පොතෙහි අනික් අභිධර්ම පාඩම් පොත්වල තරමට කරුණු ඇතුළත් නැත. පොත මහත් වී ඇත්තේ ඇතුළත් කොට ඇති කරුණු පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි විස්තර කර ඇති බැවිනි. මෙහි ඇතැම් තැනක කරුණු දැක්වීමේ පටිපාටිය ද අභිධර්මාර්ථ සඞ්ග්‍ර‍හයට වෙනස් කර ඇත. ඒ වෙනස්කම් බොහෝ සෙයින් ඇත්තේ සතර වන අට වන නව වන පරිච්ඡේද තුනෙහි ය. එසේ වෙනස් කොට යොදා ඇත්තේ උගෙනීම පහසු වනු පිණිස ය. අනික් පොතකින් අභිධර්මය උගෙන ගන්නවාට වඩා මේ පොතෙන් අභිධර්මය උගෙනීම තරමක් පහසු වෙනවා ඇත.

කොපමණ ලිහිල් වචන යොදා, උගෙනීමට කොතරම් පහසු වන සැටියට පොත සම්පාදනයකර තැබුවත් උගෙන ගන්නා තැනැත්තා විසින් උගත යුතු ක්‍ර‍මය වරදවා උගෙන ගන්නට උත්සාහ කළහොත් මේ ගැඹුරු ධර්මය උගත නො හැකි ය. උගත යුතු ක්‍ර‍මය නම්, එක පාඩමකුදු අත නො හැර පිළිවෙළින් උගෙනීම ය. මුල් පාඩම් ගැන, මුල් පරිච්ඡේද ගැන දැනීම ඇතිකර නො ගෙන ඉදිරියට නොයා යුතුය. අභිධර්ම පාඩම් පොත් සම්පාදනය කර ඇත්තේ පාඩමෙන් පාඩමට පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සම්බන්ධයක් ඇතිව ය. එබැවින් පළමුවන පරිච්ඡේදය නො පිළිවන් තැනැත්තාට දෙවන පරිච්ඡේදය උගත නො හැකි ය. ඒ දෙක ම නො පිළිවන් තැනැත්තාට තුන්වන පරිච්ඡේදය නූගත හැකි ය. ඒ පරිච්ඡේද තුන ම නො පිළිවන් තැනැත්තාට සතර වන පරිච්ඡේදය නූගත හැකි ය. අවසානය තෙක් ම ක්‍ර‍මය මෙසේ ම ය.

මුල් පරිච්ඡේද ගැන දැනුම නැති ව, මුල් පරිච්ඡේද වල කරුණු මතක තබා නො ගෙන, ඉහළ පරිච්ඡේදයට ගිය තැනැත්තාට ඒ පරිච්ඡේදයේ දී කිසිවක් තේරුම් ගත නො හැකි වීමෙන් උගෙනීම එපා වන්නේ ය. අභිධර්මය උගෙනීමට පටන් ගන්නා බොහෝ දෙනා ටික කලකින් එපා වී උගෙනීම අත හැර දමන්නේ මුල් පරිච්ඡේදවල කරුණු නො දැන ඉහළට යාමෙනි. මුල් පරිච්ඡේදවල කරුණු හොඳින් උගෙන මතක තබාගෙන ඉදිරියට උගෙනීම කරන්නවුන්ට මේ ධර්මය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට වඩ වඩා රසවත් වන්නේ ය. උගෙනීම හරියන්නට නම්, ධර්මඥානය - ධර්ම රසය ලබන්නට නම්, ක්‍ර‍මානුකූලව ම උගෙනීම කළ යුතු ය.

දහම් පාසල්වල අභිධර්ම පාඩම් උගැන්වීමේ දුෂ්කරත්වය ගැන නොයෙක් විට කථා කරනු අසන්නට ලැබේ. බොහෝ දෙනා පාඩම් පොත්වල දෝෂය නිසා උගැන්වීම දුෂ්කර වී ඇතැයි සිතති. එහිත් තරමක සත්‍යතාවක් ඇතත් සම්පූර්ණ සත්‍යය නම් එය නොවේ. අභිධර්මය ඉතා ගැඹුරු විද්‍යාවෙකි. නො ගැඹුරු විද්‍යාවක් වුව ද අනිකකුට හොඳින් උගැන්විය හැක්කේ ඒ විද්‍යාව ගැන අඞ්ග සම්පූර්ණ දැනුමක් ඇතියකුට ය. දහම් පාසැල්වල අඞ්ග සම්පූර්ණ දැනුමක් ඇති ගුරුවරුන් සොයා ගන්නට නැත. එබැවින් අන්‍ය විෂයයන් උගත් ගුරුවරුන් ලවා ම දහම් පාසල්වල අභිධර්ම පාඩම් ද උගන්වා ගන්නට සිදුවී තිබේ. ඒ ගුරුවරුන්ට අභිධර්ම පාඩම් උගැන්වීම දුෂ්කර වීම පුදුමයක් නො වේ. එය විය යුත්තක් ම ය.

පාඩම් පොත්වල කොතෙක් දුබලකම් තුබුණත් උගත් ගුරුවරයාට කාරණය නො වරදවා හොඳින් උගැන්විය හැකි ය. අභිධර්ම පාඩම් උගැන්වීමට දුෂ්කර වීමේ සත්‍ය හේතුව නම් ගුරුවරුන්ගේ දුබල බව ය. දුෂ්කර කම් නිසා අත් නො හැර දහම් පාසල්වල අභිධර්ම පාඩම් අමාරුවෙන් වුව ද උගන්වා ගෙන යාම ගැන ඒ ගුරු මහතුන්ට පැසසිය යුතු ය. දහම් පාසල්වල අමාරුවෙන් වුව ද නො නවත්වා අභිධර්මය උගැන්වීම කරගෙන ගිය හොත් කල්යාමෙන් ඒ දුෂ්කර කම් මග හැරී යා හැකි ය.

අභිධර්ම පාඩම් හොඳින් උගැන්වීම කළ හැක්කේ අභිධර්මය පිළිබඳ අඞ්ගසම්පූර්ණ දැනීම ඇති ගුරුවරයකුට පමණකි. අභිධර්මාර්ථ සංග්‍ර‍හය ගැන හෝ එවැනි අන් පොතක් ගැන හෝ සම්පූර්ණ දැනීම ඇති ගුරුවරයකුට ද තරමක් හොඳින් අභිධර්ම පාඩම් උගැන්වීම කළ හැකි ය. අභිධර්ම පාඩම් උගන්වන ගුරුවරයා විසින් යටත් පිරිසෙයින් අභිධර්ම පාඩම් පොතේ එදා උගන්වන පාඩමට මුලින් ඇති පාඩම් ටිකවත් දැන සිටිය යුතු ය. එතරම්වත් දැනුම නැතියකුට නම් අභිධර්ම පාඩම් කොහෙත් ම උගැන්විය නො හැකි ය.

ලෙහෙසියෙන් අභිධර්මාචාර්‍ය්‍ය වරයකු විය හැකි ක්‍ර‍මයක්

උගැන්වීම දැනුම දියුණු කර ගැනීමට ඇති ඉතා හොඳ ක්‍ර‍මයකි. ශිෂ්‍ය පිරිසකට පාඩමක් උගැන් වූ කල්හි එයින් ඒ ශිෂ්‍ය පිරිස ලබන දැනුමට වඩා උසස් දැනුමක් ගුරුවරයාට ලැබේ. අභිධර්ම මාර්ගය නමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙළ කර ඇතියක් වන බැවින් ගුරුවරයකු විසින් මුල පටන් ම ශිෂ්‍ය පිරිසකට උගන්වාගෙන යතහොත් වැඩි අපහසුවක් නැතිව උගැන්විය හැකි වනු ඇත. උගැන්වීමෙන් ම ගුරුවරයාට දැනුම ලැබෙනවා ඇත. පසු කළ පාඩම් අමතක වුව හොත් ඉදිරියට උගැන්වීම අපහසු වනු ඇත. එබැවින් අමතක නො වනු පිණිස පසු කළ පාඩම් නැවත නැවත කියවිය යුතු ය.

පසු කළ පාඩම් ගැන දැනුම නැතිව ඉදිරියෙහි පාඩම් කියවීමෙන් ප්‍රයෝජනයක් නො ලැබිය හැකි ය. ඉදිරියෙහි පාඩම් ගැන සොයන්නට නො ගොස් පසු කළ පාඩම් ගැන විශේෂ සැලකිල්ලක් නිතර ම කළ යුතු ය. මෙසේ උගැන්වීම කරගෙන යන තැනැත්තාට දුෂ්කරත්වයක් එතොත් එන්නේ අට වන පරිච්ඡේදයෙහිය. අටවන පරිච්ඡේදය පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි ලියුවහොත් පාඩම් පොතකට සුදුසු නො වන හැටියට එය දීර්ඝ වන්නේ ය. එබැවින් අටවන පරිච්ඡේදයේ කරුණු විස්තර කර ඇත්තේ එක්තරා ප්‍ර‍මාණයකට ය. අට වන පරිච්ඡේදය දැනීමේ මඳ බව නවවන පරිච්ඡේදය උගෙනීමට හා උගැන්වීමට බාධාවක් නො වේ. මෙහි නව වන පරිච්ඡේදයෙන් කාහටත් ප්‍රයෝජනය ලැබිය හැකි ය. එහි භාවනා ක්‍ර‍ම විස්තර කර ඇත්තේ ය. යම් කිසි ගුරුවරයකු විසින් කියන ලද පරිද්දෙන් මේ පොත දෙතුන් වරක් උගැන්වීම කළහොත් ඒ තැනැත්තා නිරුත්සාහයෙන් ම හොඳ අභිධර්මාචාර්‍ය්‍ය වරයකු වනු ඇත.

පරමාර්ථ ධර්ම ඉතා සියුම් ය. කෙනකුට කියවා තේරුම් ගත හැකි වන සැටියට ධර්මයන්ගේ සැටි පහදා ලිවීම ඉතා දුෂ්කර ය. පාඩම් පොතක් සම්පාදනය කිරීමේ දී ඒ දුෂ්කරත්වයට තවත් දුෂ්කරත්වයක් එකතු වේ. බොහෝ වචන යොදා බොහෝ දිගට ලියත හොත් කොතරම් ගැඹුරු කරුණක් වුවත් තේරුම් ගත හැකි පරිදි ලිය හැකි ය. පාඩම් පොත් සැපයීමේ දී එසේ කරන්නට ඉඩක් නැත. පාඩමකට සුදුසු වන තරමට වාක්‍ය කෙටි කරන්නට ගියාම කාරණය පැහැදිලි නො වේ. පාඩම් සැපයීමේ දී ඇති දුෂ්කරත්වය එය යි. කාරණය තේරුම් ගත හැකි සැටියටත් කොටිනුත් ලිවීම ඉතා දුෂ්කර බැවින් මේ ග්‍ර‍න්ථය සම්පාදනය කිරීමේ දී අනික් පොතක් ලිවීමේ දී ගන්නා මහන්සියට වැඩි මහන්සියක් ගන්නට සිදු විය. එය සාර්ථක වී ද, නො වී ද යන බව අනාගතයේ දී දත හැකි වනු ඇත.

මෙ වැනි ග්‍ර‍න්ථයක් හොඳට ම හරියන්නට නැවත නැවත කීප වරක් පරීක්ෂා කර සංස්කරණය කළ යුතු ය. මෙහි මුද්‍ර‍ණය කර ඇත්තේ අපගේ පළමු වන ලිපිය ය. මෙහි නොයෙක් අඩුපාඩු කම් තිබෙන්නට බැරි නැත. ඒවා හොඳට පෙනෙන්නේ කියවන්නා වූ ද උගන්වන්නා වූ ද පින්වතුන්ට ය. මෙහි යම් කිසි තැනක අඩුවක් හෝ වැඩියක් හෝ අපැහැදිලිකමක් හෝ වරදක් හෝ දුට හොත් එය අපට දන්වන ලෙස සැමදෙනාගෙන් ම ඉල්ලා සිටිමු.

මීට - ශාසනස්ථිතිකාමී,

රේරුකානේ චන්දවිමල ස්ථවිර.

(බු: ව: 2501) ක්‍රි: ව: 1958 මාර්තු 01 දින.

ශ්‍රී විනයාලංකාරාමයේදී ය.

පොකුණුවිට.

අභිධර්ම මාර්ගය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

1. ප්‍ර‍ථම පරිච්ඡේදය

1. අභිධර්මයේ වැදගත්කම

දෙවි, මිනිස්, ඇත්, අස්, ගව, මැසි, මදුරු ආදි කුඩා මහත් සියලු සතුන් හා පස්, ගල්, දිය, සුළං, ගස්, වැල් ආදි සියලු වස්තූන් ද සෑදෙන මූල ධාතූන් විභාග කොට දක්වන්නා වූ ද, ඒ මූල ධාතූන් ඇති වන සැටි පරම්පරා වශයෙන් පවත්නා සැටි උගන්වන්නා වූ ද, නිර්වාණ ධාතුව විභාග කොට දක්වන්නා වූ ද ධර්මය අභිධර්මය යි.

දැනට ජීවත්ව ඉන්නා මේ මනුෂ්‍යාදි සත්ත්වයන් අතීතයෙහි ද විසූ බවත්, මරණින් මතු නැවත නැවතත් උපදනා බවත්, නැවත ඉපදීම සිදුවන සැටිත් හරියට දත හැක්කේ අභිධර්මය උගෙනීමෙනි.

පින්ය කියා දෙයක් ඇති බවත්, පව්ය කියා දෙයක් ඇති බවත්, ඒ පින් පව්වල ඇති බලයත්, පින් පව්වලින් සත්ත්වයන්ට සැප දුක් දෙන සැටිත් හරියට තේරුම් ගත හැක්කේ අභිධර්මය උගෙනීමෙනි.

පින් මේවා ය, පව් මේවා ය කියා හරියට දත හැක්කේ ද අභිධර්මය උගෙනීමෙනි.

අප සමීපයෙහිත් අපට බොහෝ දුරිනුත් අපේ ඇස් වලින් දැකිය නො හෙන නොයෙක් රූ සටහන් ඇති නොයෙක් ආකාර සැප දුක් ඇති දිව්‍ය බ්‍ර‍හ්මාදි නොයෙක් ජාතිවලට අයත් බොහෝ සත්ත්වයන් ඇති බව දත හැක්කේ ද අභිධර්මය උගෙනීමෙනි.

නිවන කුමක් ද? නිවන් මග කුමක් ද? කියා හරියට තේරුම් ගත හැකි වන්නේ ද අභිධර්මය උගෙනීමෙනි.

මතු ඉපදීමක් ඇති බව නො පිළිගන්නේ, කර්මානුරූප ව සත්ත්වයන් සුව දුක් ලබන බව නො පිළිගන්නේ, අපායවල් ඇති බව දෙවි බඹුන් ඇති බව නො පිළිගන්නේ මේ ධර්මය නො දන්නා බැවිනි.

බුදු පිළිමවලට වඳින්න ඕනෑ නැත, අජීවමාන බුදුනට මල් පහන් ආහාරාදිය පුදන්නට ඕනෑ නැත යනාදි මිථ්‍යා අදහස් ඇති වන්නේ ද මේ ධර්මය නො දන්නා නිසා ය.

බෞද්ධයකු වුව ද මේ ධර්මය තරමක් දුරටවත් නො දත් තැනැත්තා අන්ධ පෘථග්ජනයෙකි. ඔහුට බණක් අසා හෝ බණ පොතක් කියවා හෝ හොඳින් තේරුම් ගත නො හැකිය. කියන බණක් හොඳින් තේරුම් ගත හැකි වීමටත්, බණ පොතක් කියවා හොඳින් තේරුම් ගත හැකි වීමටත් තරමක් දුරටවත් අභිධර්මය උගෙන තිබිය යුතු ය.

බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය සූත්‍ර‍ පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියා තුන් කොටසකට බෙදා තිබේ. අභිධර්ම පිටකය ප්‍ර‍කරණ සතෙකි.

  1. ධම්මසඞ්ගනීපකරණ
  2. විහඞ්ගපකරණ
  3. ධාතුකථාපකරණ
  4. පුද්ගලපඤ්ඤත්තිපකරණ
  5. කථාවත්ථුපකරණ
  6. යමකපකරණ
  7. පට්ඨානපකරණ

යනු ඒ ප්‍ර‍කරණ සතෙහි නම් ය.

2. පරමාර්ථය හා ප්‍ර‍ඥප්තිය

අභිධර්මය තථාගතයන් වහන්සේ ගේ පරමාර්ථ දේශනාව ය. එබැවින් අභිධර්මය උගන්නා වූ තැනැත්තා විසින් පරමාර්ථය කුමක් ද යන බව පළමුවෙන් ම උගත යුතුය.

කියන වචන ඇසීම, ලියා තිබෙන - මුද්‍ර‍ණය කර තිබෙන දේ හා තවත් නොයෙක් දේ දැකීම, කල්පනා කිරීම යනාදි කරුණුවලින් සිතට දැනෙන සිතට හසුවන දෙයට “අර්ථය” යි කියනු ලැබේ. අර්ථ යන මේ වචනය සියල්ල යන වචනයට සමාන වචනයකි. අර්ථ නොවන කිසිවක් ලොව නැත්තේ ය. ලෝකයෙහි අර්ථ බොහෝ ගණනක් ඇත්තේ ය. කවද ආකාරයකින්වත් ඒවායේ ප්‍ර‍මාණයක් නො දැක්විය හැකි ය.

ඇති සැටියට සිතට දැනෙන දේවල් අතර හැබෑවට ඇත්තා වූ දේවල් ද ඇත්තේ ය. සැබෑවටම නැති දේවල් ද ඇත්තේ ය. ලෝකයාහට ඇති සේ පෙනෙන ඇති සේ දැනෙන දේවලින් ඉතා වැඩි හරියක් ම සත්‍ය වශයෙන් නැති දේ ය.

අඳුරෙහි සිටින කෙනකු ගිනි පෙණෙල්ලක් ගෙන වේගයෙන් කර කැවුව හොත් දුරින් බලා ඉන්න අයට එහි ගිනි වළල්ලක් පෙනේ. එහෙත් එතැන ගිනි පෙණෙල්ල ම මිස, ඇති සැටියට පෙනෙන ගිනි වළල්ල නැත. ඒ ගිනි වළල්ල ගිනි පෙණෙල්ලේ වේගවත් ගමන නිසා ඇතුවා වගේ පෙනෙන දෙයකි.

ලෝකයා විසින් ඇති සැටියට සලකන මේසය, පුටුව, ඇඳ, වස්ත්‍ර‍ය, ගෙය, පිඟාන, කෝප්පය, මිනිසා, ගවයා, බල්ලා, ඇතා යනාදි සියල්ලත් ගිනි වළල්ල සේම සැබෑවට ම නැති ඒවා ය.

ඇතය යි සලකන දෙයක සත්‍ය වශයෙන් ඇති නැති බව දැන ගත හැක්කේ ඒ දෙය විභාග කර බැලීමෙනි. මේසය ඇතය යි සලකන එක් දෙයකි. එය විභාග කරතහොත් පා සතරක් ද, පා සතර ඒකාබද්ද කරන ලෑලි සතරක් ද, තට්ටුවෙහි ලෑලි දෙක තුනක් ද ඇති බව පෙනේ. ඒ එක් දෙයක් වත් මේසය නො වේ. ඒ ද්‍ර‍ව්‍ය සමූහය හැර මේසය කියා දෙයක් ද නැත. ඒ ද්‍ර‍ව්‍ය සියල්ල ම මේසය යයි කිව හැකි ය. සියල්ල මේසයත් නොවේ. සියල්ල මේසය නම් කෙසේ තුබුණත් ඒ ලී කැබෙලි ටික මේසය විය යුතු ය. ලී කැබෙලි ටික එකිනෙකින් වෙන් ව හෝ අන් අයුරකින් එක් වී තිබෙත හොත් එකල්හි මේසයක් දක්නට නැත. එබැවින් ඒ ලී කැබෙලි සියල්ල ද මේසය නො වන බව දත යුතු ය. ලී කැබලි ටික, ලී කැබෙලි රැසක් මිස, මේසය නො වන බැවින් මේසය කියා දෙයක් සත්‍ය වශයෙන් නැති බව දත යුතු ය. මේසය යනු ලී කැබලි වන පිහිටි ආකාරය අනුව ඇති වන හැඟීම් මාත්‍රයෙකි.

ලෝකයා විසින් ඇති සැටියට සලකන ඇඳ, පුටු, මේස, පිඟන්, කෝප්ප, රෙදි, ගස්, වැල් ආදි අවිඤ්ඤාණක වස්තූන් ද; දෙවි, මිනිස්, ඇත්, අස්, ගවාදි සවිඤ්ඤාණක වස්තු ද යන මේ සියල්ල ම මේසය සේ ම සත්‍ය වශයෙන් නැති ඒවා ය. සත්‍ය වශයෙන් නැති ව ඇතය යන හැඟීම් මාත්‍රයෙන් ඇතයයි සලකන දේවලට කියන නම ප්‍ර‍ඥප්තිය යනු යි.

සත්‍ය වශයෙන් නැත්තා වූ අර්ථය ය, සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථයය යන මේ දෙකින් සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථය උසස් බැවින් එයට පරමාර්ථය යි කියනු ලැබේ. පරමාර්ථ යන වචනයෙහි තේරුම උසස් අර්ථයය, උසස් දෙයය යනුයි.

ඇතය යි හැඟෙන යම් කිසිවක් පරමාර්ථයක් ද ප්‍ර‍ඥප්තියක් දැ යි දැන ගැනීමට ඒ දෙය කොටස්වලට වෙන් කර බැලිය යුතුය. යමක් මේසය සේ කොටස් කළ කල්හි නැති වන්නේ නම්, ඒ දෙය පරමාර්ථයක් හෙවත් සත්‍ය වශයෙන් ඇතියක් නො වේ. වස්තූන් බෙද බෙදා බැලුවා ම අන්තිමට ඉතිරි වන නො බෙදිය හැකි දෙය පරමාර්‍ථය ය.

මේසය බෙදා ලී කැබෙලි ටික හැර මේසයක් ඇත්ත වශයෙන් නැති බව කී කල්හි, මේසයේ කොටස් වූ ලී කැබෙලි ටික සත්‍ය වශයෙන් ඇති ඒවා යයි ඔබට සිතෙන්නට පිළිවන. ඒ ලී කැබෙලිත් තවත් බෙදිය හැකි ඒවා ය. එබැවින් ඒවාත් පරමාර්ථ ධර්ම සැටියට නො සැලකිය යුතුය.

ලී කැබෙල්ලක් වැලි කරදාසියකින් මදින කල්හි දක්නට ලැබෙන ලී කුඩු ලීයේ කුඩා කොටස් ය. එකක් වෙන් කොට ගතහොත් ඇසට නො පෙනෙන තරමට කුඩා වූ ඒ ලී කොටසක් ද තවත් බෙදිය හැකි ය. එබැවින් ඒ ලී කුඩු ද පරමාර්ථයෝය යි නො ගත යුතු ය. පරමාර්ථය වනුයේ බෙදීමේදී අන්තිමට ලැබෙන නො බෙදිය හැකි අර්ථය ය.

3. පරමාර්ථ සතර

සත්ත්වයන් සහිත වූ මේ ලෝකය ඉතා සියුම් ලෙස විභාග කළා ම අන්තිමට ම ලැබෙන ඉතා ම සියුම් ස්වභාවයෝ පරමාර්ථ ධර්මයෝ ය. ලෝකයට අයත් සියල්ලේ ම මූලික ධර්මයෝ පරමාර්ථයෝ ය. ඒවා ගල් කැට මැටි කැට ආදිය බඳු ද්‍ර‍ව්‍යයන් නොව, බල වේගයෝ ය. එබැවින් දික් බව, කෙටි බව, කුඩා බව, මහත් බව, වට බව, සතරැස් බව, ආදි සටහන් ඒවාට නැත්තේ ය.

චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය යි කොටින් කියන කල්හි පරමාර්ථ සතරෙකි.

චිත්තය

පරමාර්ථ සතර අතුරෙන් චිත්තය යනු දැනීම ය. සිතය කියනුයේ ද එයට ය. ඇස, කන, නාසය, දිව, කය යන මේ ඉන්ද්‍රිය පස නිසාත්, ශුද්ධ මනෝද්වාරය නිසාත් ඒ දැනීම ඇති වේ. ඇස නිසා ඇති වන දැනීමට දැකීමය යි ද, කන නිසා ඇති වන දැනීමට ඇසීම යයි ද කියති. දැකීම පෙනීම කල්පනා වීම අදහස් පහළ වීම යන මේ වචනවලින් කියැවෙන්නේ චිත්තය හෙවත් සිත ය. දැනෙන දේවලට අරමුණ යයි කියනු ලැබේ. අරමුණක සම්බන්ධයක් නැතිව කිසි කලෙක සිතක් ඇති නොවේ. බෙරයකට ගසන කල්හි වදින පහරින් වෙන වෙන ම බෙර හඬ ඇති වන්නාක් මෙන් ඉන්ද්‍රියයන්හි අරමුණු ගැටෙන කල්හි ඒවා සම්බන්ධයෙන් වෙන වෙන ම සිත් ඇති වේ. ඒ දැනීම් සියල්ල ම ක්‍රියාවෝ ය. එබැවින් ඇති වන සිත් සියල්ල ම එකෙණෙහි ම නැති වේ. දැනීම් මාත්‍ර‍ය ම චිත්තය හෙවත් සිත බව මතක තබා ගත යුතුය.

චෛතසිකය

සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇති වන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍ර‍ ව ඇති වන්නා වූ අන්‍ය ක්‍රියාවෝ චෛතසිකයෝ ය. චෛතසික දෙපනසක් ඇත්තේ ය. සිත සමඟ එකට ඉපදීම ය, එකට නැති වීම ය, සිතින් ගන්නා අරමුණ ගැනීම ය, සිතට නිඃශ්‍ර‍ය වූ වස්තුව ම නිඃශ්‍ර‍ය කර ගැනීම ය යන මේ කරුණු සතර චෛතසිකයන් ගේ සාමාන්‍ය ලක්ෂණයෝ ය. සිතින් වෙන්ව කිසි කලෙක චෛතසිකයෝ නූපදිති. සිතක් නැති ව ඉපදිය හැකි ශක්තියක් ඒවාට ඇත්තේ ද නැත. සම්පූර්ණයෙන් ම චෛතසිකයන්ගෙන් තොරව ඉපදීමේ ශක්තියක් සිතට ද නැත. එහෙත් සිත සමහර චෛතසිකයන්ගෙන් තොරව ද උපදී. එක් සිතක් සියලු ම චෛතසිකයන් සමග උපදින්නේ ද නැත.

රූපය

සත්ත්ව ශරීර හා බාහිර වස්තූන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපයෝ ය. රූප විසි අටක් ඇත්තේය. එයින් ඇසට පෙනෙන්නේ වර්ණ ධාතුව නැමති එක් රූපයක් පමණෙකි. ඉතිරි සත්විස්ස ඇසට පෙනෙන රූප නො වේ. රූප යන වචනයේ තේරුම ශීතෝෂ්ණාදි විරුද්ධ දෙය හා එක් වීමෙන් විකාරයට පැමිණෙන දෙය ය යනුයි. චිත්ත චෛතසිකයන් ඉතා සියුම් බැවින් ශීතෝෂ්ණාදිය හා ඒවායේ ගැටීමක් සිදු නොවේ.

නිර්වාණය

රාගාදි කෙලෙස් ගිනිවලින් හා ජාති ජරා ව්‍යාධි මරණාදි දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛ ස්වභාවය නිර්වාණය ය. චිත්ත චෛතසික රූප පරමාර්ථයෝ ඒ ඒ ධර්මය ඇති කිරීමට නිසි හේතූන් එක් රැස් වීමෙන් ම ඇති වන ධර්මයෝ ය. ප්‍ර‍ත්‍යයෙන් ඇති කරන බැවින් ඒවාට සඞ්ඛත ධර්මයෝ ය යි කියනු ලැබේ. සඞ්ඛත ධර්මයෝ ඇති වීමෙන් පසු මොහොතකුදු නො පැවතී බිඳෙන්නෝ ය. එබැවින් ඒවා අනිත්‍ය ධර්මයෝ ය. නිර්වාණ ධාතුව යම්කිසි හේතුවකින් හටගැන්වීමක් නැති ව ම ඇති ධර්මයෙකි. එබැවින් එයට අසඞ්ඛත ධාතුව යයි කියනු ලැබේ. එය කවදාවත් නැති නො වන සෑම කල්හි ම පවත්නා ධර්මයෙකි. එය ඉතා ගැඹුරු ධර්මයෙකි. මහත් වූ වීර්‍ය්‍යයකින් ම ප්‍ර‍ත්‍යක්ෂ කරගත හැකි ධර්මයෙකි. ලොකොත්තර මාර්ගය වඩා එය ප්‍ර‍ත්‍යක්ෂ කර ගැනීමෙන් ආර්‍ය්‍යයෝ සසර දුකින් මිදෙති. බුද්ධාගමට අනුව පිළිවෙත් පිරීමෙන් බලාපොරොත්තු විය යුතු උසස් ම දෙය ඒ නිර්වාණය ය.

4. සිත බෙදෙන සැටි

චිත්තය - චෛතසිකය - රූපය - නිර්වාණය කියා පරමාර්ථ ධර්ම සතරක් ඇති බව ඉහත කියන ලදී.

ඒ සතරින් පළමු කොට උගත යුත්තේ සිත ගැන ය. සිත සාමාන්‍යයෙන් එකකි. එහෙත් එය එකක් වශයෙන් ගෙන අභිධර්මය නූගැන්විය හැකි ය. සිතේ සැටි උගැන්විය හැකි වනු පිණිස මේ ධර්මයෙහි එක් ක්‍ර‍මයකින් එය (89) අසූනවයකට ද, තවත් ක්‍ර‍මයකින් (121) එකසිය විසි එකකට ද බෙදා තිබේ. සිත බෙදෙන්නේ භූමි ජාති යනාදීන් ගෙනි.

කාමාවචරාදි සිත් සතර කොටස

සාමාන්‍යයෙන් එකක් වූ සිත කාමාවචර සිත ය, රූපාවචර සිත ය, අරූපාවචර සිත ය, ලෝකෝත්තර සිත ය කියා භූමීන් ගේ වශයෙන් සතරකට බෙදනු ලැබේ.

අපාය සතර ය, මිනිස් ලොව ය, දිව්‍යලෝක සයය යන මේ භූමි එකොළොසට කාම භූමි යයි කියනු ලැබේ. ඒ එකොළොස් වැදෑරුම් කාම භූමියෙහි බොහෝ සෙයින් ඉපදීම නිසා කාම භූමියට අයත් වන සිත කාමාවචර නම් වේ.

පසළොස් වැදෑරුම් රූප භූමියෙහි බොහෝ සෙයින් ඉපදීම නිසා රූප භූමියට අයත් සිත රූපාවචර නම් වේ.

අරූප භූමි සතරෙහි බොහෝ සෙයින් ඉපදීම නිසා අරූප භූමියට අයත් වන සිත අරූපාවචර නම් වේ.

ලෝකෝත්තර භූමියක් ගැන කියතත් ලෝකෝත්තර භූමි යයි කියා තැනක් නැත. මේ චිත්ත විභාගයේ දී ලෝකෝත්තර ධර්මයන්ට ම ලෝකෝත්තර භූමිය යි කියනු ලැබේ. කියන ලද භූමි තුනට අයත් නැති ලෝකෝත්තර භූමියට අයත් සිත ලෝකෝත්තර නම් වේ.

ඇතැම් කාමාවචර සිත් රූපාරූප භූමීන්හි ද ඇති වේ. එසේ ම ඇතැම් රූපාවචර අරූපාවචර සිත් කාමාවචර භූමියෙහි ද ඇති වේ. මේ සිත්වලට කාමාවචරාදි නම් දී තිබෙන්නේ බොහෝ සෙයින් ඒ ඒ භූමිවල ඇතිවීම සලකාගෙන ය. කාමාවචර සිතක් රූපාරූප භූමිවල ඇති වන කල්හි ද එයට කාමාවචර යන නාමය ම කියනු ලැබේ. රූපාවචර අරූපාවචර සිත් කාම භූමියෙහි ඇති වන කල්හි ද ඒවාට රූපාවචර අරූපාවචර යන නම් කියනු ලැබේ. ලෝකෝත්තර සිත් ඇති වන්නේ ද කාම රූප අරූප යන භූමි තුනෙහි ම ය. එහෙත් ඒ සිත් ඒ භූමිවලට අයත් නො වන බැවින් ඒවාට ලෝකෝත්තර යන නාමය ම ව්‍යවහාර කරනු ලැබේ.

කාමාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් කාම ලෝකයෙහි උපදනා සිතය යනුයි.

රූපාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් රූප ලෝකයෙහි උපදනා සිතය යනුයි.

අරූපාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් අරූප ලෝකයෙහි උපදනා සිතය යනුයි.

ලෝකෝත්තර සිත යන්නෙහි තේරුම, ලෝකය ඉක්මවන්නා වූ ද, ලෝකය ඉක්ම සිටියා වූ ද සිතය යනුයි.

කාමාවචචරාදි සිත් තවත් ක්‍ර‍මවලින් බෙදනු ලැබේ. බෙදෙන ක්‍ර‍ම ඒ ඒ තැන්වලදී දැන ගත හැකි වනු ඇත. එසේ බෙදූ කල්හි කාමාවචර සිත් (54) සිවුපනසක් වේ. රූපාවචර සිත් (15) පසළොසෙක් වේ. අරූපාවචර සිත් (12) දොළොසෙක් වේ. ලෝකෝත්තර සිත් කෙටි ක්‍ර‍මයෙන් (8) අටක් ද, විස්තාර ක්‍ර‍මයෙන් (40) සතළිසක් ද වේ. සියල්ල එකතු කළ කල්හි කෙටි ක්‍ර‍මයෙන් (89) අසූනවයක් වේ. විස්තාර ක්‍ර‍මයෙන් (121) එකසිය විසි එකක් වේ.

ප්‍ර‍ශ්න

  1. පරමාර්ථ සතර මොනවා ද?
  2. සිත බෙදන්නේ කවර කරුණුවලින් ද?
  3. සිත පළමු කොට බෙදන්නේ කෙසේද?
  4. කාම භූමිය කුමක් ද?
  5. ලෝකෝත්තර භූමිය යනු කුමක් ද?
  6. ලෝකෝත්තර භූමිය ඇත්තේ කොහි ද?
  7. ලෝකෝත්තර සිත් උපදනේ කොහි ද?
  8. කාමාවචර සිත යන්නෙහි තේරුම කුමක්ද?
  9. ලෝකෝත්තර සිත යන්නෙහි තේරුම කුමක් ද?
  10. කාමාවචර සිත් කොතෙක් ද?
  11. රූපාවචර සිත් කොතෙක්ද?
  12. අරූපාවචර සිත් කොතෙක් ද?
  13. ලෝකෝත්තර සිත් කොතෙක් ද? ක්‍ර‍ම දෙකින් ම කියනු.
  14. සියලු සිත් ක්‍ර‍ම දෙකින් ම කියනු.

5. කාමාවචර සිත් සිවුපනස

අකුසල් සිත් දොළොස ය, අහේතුක සිත් අටළොසය, කාමාවචර සෝභන සිත් සූවිස්ස ය යි කාමාවචර සිත් සිවුපනසෙකි.

අකුසල් සිත්

යමකුගේ සන්තානයෙහි ඇති වුව හොත් අනාගතයෙහි ඔහුට අනිෂ්ට විපාක ඇති කරන්නා වූ සිත් අකුසල් සිත් නම් වේ.

ලෝභය, ද්වේෂය, මෝහය කියා අකුසල් මුල් තුනක් ඇත්තේ ය. ඒ තුන චෛතසික තුනෙකි. සාමාන්‍යයෙන් එකක් වන අකුසල් සිත ලෝභාදි ගුන හා එක්වීම නිමිත්ත කොට ලෝභ මූල සිත ය, ද්වේෂ මූල සිත ය, මෝහ මූල සිත ය, කියා තුනට බෙදේ.

ලෝභමූල සිත් අට

මේ දේ හොඳ ය, ලස්සන ය, මිහිරි ය කියා ඒ ඒ දේවලට හා පුද්ගලයන්ට ඇලුම් කරන ස්වභාවය ලෝභය ය. ආශාවය - ඕනෑකම ය - රාගය ය - ගිජු කම ය - කැතකම ය - ආදරය - ප්‍රේමය යන නම් වලින් කියැවෙන්නේ ද ලෝභය ම ය. ඒ ලෝභයෙන් යුක්ත වන සිත සෝමනස්ස සහගත සිතය, උපේක්ෂා සහගත සිතය කියා නැවතත් දෙකට බෙදෙන්නේ ය.

සිත යනු යම්කිසිවක් පිළිබඳ ව ඇති වන දැනීම බව ඉහත කියා ඇත. මේ ධර්මයෙහි සිතට දැනෙන දෙයට කියන නම (ආරම්මණය) අරමුණ යනුයි. එක් සිතක් තවත් සිතකට දැනෙන බැවින් සිත ද අරමුණකි. සෑම අරමුණක ම හොඳ බව ය, නරක බව ය, මධ්‍යම බව ය යන මේ ගුණ තුනෙන් එකක් ඇත්තේ ය. ඒ ගුණවලට අරමුණු රසය යි කියනු ලැබේ. කවර අරමුණක් හෝ ගනිමින් සිතක් උපදිත හොත් ඒ සිත සමග බැඳී ඒ අරමුණේ රසය වළඳන්නා වූ විඳින්නා වූ ස්වභාවයක් ද ඇති වේ. සිත සමග ඇතිවන්නා වූ අරමුණෙහි මිහිර විඳින්නා වූ ස්වභාවයට සෝමනස්ස වේදනාවය යි ද, අරමුණෙහි මධ්‍යම බව වූ රසය විඳින ස්වභාවයට උපේක්ෂා වේදනාවය යි ද, අරමුණෙහි නරක බව විඳින්නා වූ ස්වභාවයට දෝමනස්ස වේදනාවය යි ද කියනු ලැබේ. ලෝභ සහගත සිත කිසි කලෙක දෝමනස්ස වේදනාවෙන් යුක්ත නො වේ. ලෝභ මූල සිත උපදනා කල්හි ආරම්මණයා ගේ හොඳ බව හෝ මධ්‍යම බව හෝ විඳීමත් සමග ම උපදී.

අරමුණෙහි හොඳ බව විඳීම ය, මධ්‍යම බව විඳීම ය, යන මේ කරුණු දෙකින් එකක් වූ ලෝභමූල සිත සෝමනස්ස සහගත සිත ය, උපේක්ෂා සහගත සිත ය කියා දෙකට බෙදේ. සෝමනස්ස සහගත සිත ය යනු සෝමනස්ස වේදනාවෙන් යුක්ත වන සිත ය. උපේක්ෂා සහගත සිත යනු උපේක්ෂා වේදනාවෙන් යුක්ත වන සිත ය. සතුට යනු ද සෝමනස්ස වේදනාවට ව්‍යවහාර කරන තවත් නමෙකි.

මේ සිත් දෙකින් එක එකක් නැවත ද දෙකට බෙදෙන්නේ ය. ඒ මෙසේ ය:- සමහර අවස්ථාවක දී මේ ලෝභ මූල සෝමනස්ස සහගත චිත්තය; පින් පව්ය කියා දෙයක් නැත, පින් පව්වල විපාකයක් නැත, පරලොවක් නැත, කුමක් කළත් වරද නැත යනාදීන් පවත්නා මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වේ. සමහර අවස්ථාවකදී මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත නො වේ. දෘෂ්ටියට දෘෂ්ටිගත යයි ද කියනු ලැබේ. ඉහත දැක්වුණු ලෝභ මූල සිත් දෙකින් සෝමනස්ස සහගත චිත්තය දෘෂ්ටියෙන් යුක්ත වීම ය, නොවීම ය යන කරුණු දෙකින් සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත චිත්තය, සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත චිත්තය කියා දෙකකට බෙදේ. උපේක්ෂා සහගත සිත ද එසේ ම උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත චිත්තය, උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත චිත්තය කියා දෙකට බෙදේ. මෙසේ බෙදීමෙන්‍ ලෝභ මූල සිත් සතරක් වේ.

ඒ සිත් සතරෙන් පළමුවැන්න වූ සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සිත නැවත ද දෙකට බෙදේ. ඒ මෙසේ ය:- සමහර අවස්ථාවකදී ඒ සිත ස්වභාවයෙන් ම ඇති වේ. සමහර අවස්ථාවකදී අනුන්ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් හෝ අනුන් විසින් හෝ උත්සාහවත් කරවීමකින් ඇති වේ. මෙහෙයුමක් - උත්සාහවත් කරවීමක් නැති ව ඇති වන සිත අසඞ්ඛාරික සිත යයි ද, මෙහෙයීමකින් හෝ උත්සාහවත් කරවීමකින් හෝ ඇති වන සිතට සසඞ්ඛාරික සිත යයි ද කියනු ලැබේ. ඉතිරි සිත් තුන ද එසේ සඞ්ඛාර භේදයෙන් දෙකට දෙකට බෙදේ. එසේ බෙදෙන කල්හි ලෝභ මූල සිත් අටක් වේ. ඒ සිත් අට මෙසේ ය.

  1. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත,
  2. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත,
  3. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත,
  4. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත,
  5. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත,
  6. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත,
  7. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත,
  8. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත,

ප්‍ර‍ශ්න

  1. කාමාවචර සිත් සිවුපනස කවරහු ද?
  2. අකුසල් සිත්ය කියනුයේ කෙබඳු සිත්වලට ද?
  3. අකුශල මූලයෝ කවරහු ද?
  4. ලෝභය යනු කුමක් ද?
  5. ලෝභය කියැවෙන තවත් වචන මොනවා ද?
  6. අකුශල චිත්තය පළමු කොට බෙදෙන්නේ කෙසේද?
  7. ලෝභමූල සිත් අටක් වන්නේ කවර ධර්මයන්ගේ වශයෙන් බෙදී යෑමෙන් ද?
  8. වේදනාව කී ආකාර ද?
  9. සෝමනස්ස වේදනාව යනු කුමක්ද?
  10. උපේක්ෂා වේදනාව යනු කුමක්ද?
  11. දෘෂ්ටිය යනු කුමක් ද?
  12. අසංස්කාරික සිත යනු කුමක් ද?
  13. සසංස්කාරික සිත යනු කුමක් ද?

6. ලෝභමූල සිත් ඇති වන අවස්ථා

අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, පිසුණාවාචය, සම්පප්‍ර‍ලාපය, අභිධ්‍යාව, මිථ්‍යාදෘෂ්ටිය යන අකුශල කර්ම පථ සත කෙරෙන්නේ, ලෝභමූල සිත් වලිනි.

තව ද සුරාපානය - සූදුව - අල්ලස් ගැනීම, අල්ලස් දීම, රස විඳිනු පිණිස නැටීම හා නැටුම් බැලීම, වීණා ආදිය වාදනය කිරීම හා ඇසීම, ගී කීම හා ඇසීම, ආස්වාදය පිණිස සුවඳ ඇඟ ගැල්වීම, ලස්සන ඇඳුම් පැළඳුම් හැඳීම, පැළඳීම, ආස්වාදය පිණිස මිහිරි බොජුන් වැළඳීම, මිහිරි පානයන් බීම, රස විඳිනු පිණිස ලස්සන දේවල් බැලීම, ක්‍රීඩා කිරීම, ක්‍රීඩා බැලීම, ධනය සැපයීම සඳහා නොයෙක් දේ කිරීම, ධනය ලබා ගැනීම, ලබා ගත් ධනය ආරක්ෂා කිරීම, ප්‍රිය වස්තූන් ලැබීම සඳහා ධනය දීම, ඇඳුම් පැළඳුම් ගෙවල් රිය ආදි ප්‍රිය වස්තූන් පිළියෙළ කිරීම, ඒවා පරිභෝග කිරීම යන මේවායේ දී බොහෝ සෙයින් ඇති වන්නේ ලෝභ මූල සිත් ය.

තරුණ තරුණියන් ඔවුනොවුන් දැකීමේ දී ඔවුනොවුන් හා කථා කිරීමේදී ඔවුනොවුන් හා ගනුදෙනු කිරීමේදී අඹුසැමියන් ඔවුනොවුන් දැකීමේදී ප්‍රිය කථා කිරීමේදී භාර්‍ය්‍යාවන්ට දූ දරුවන්ට ලස්සන ඇඳුම් පැළඳුම් සැපයීමේදී බොහෝ සෙයින් ඇති වන්නේ ලෝභමූල සිත් ය. විනෝද ගමන් යෑමේදී ද බොහෝ සෙයින් ඇති වන්නේ ලෝභමූල සිත් ය. දූ දරුවන් පෝෂණය කිරීමේදී ඔවුන් සුරතල් කිරීමේ දී ඔවුනට ආවාහ විවාහ කරදීමේදී බොහෝ කොට ඇති වන්නේ ලෝභ මූල සිත් ය. ධර්මයෙන් ඈත් ව වාසය කරන සාමාන්‍ය ජනයාට නින්දට යන තුරු දවස මුළුල්ලේ ඇති වන සිත්වලින් වැඩි කොටස ලෝභ මූල සිත් බව ම කිය යුතු ය.

ශ්‍ර‍ද්ධාව - මෛත්‍රිය - කරුණාව පෙරදැරි කර ගෙන ධන සැපයීම් ආදිය කරන්නවුනට ඒවායේදී අකුසල් සිත් ඇති නො වේ. ප්‍රයෝජනාදිය සලකමින් නුවණ පෙරදැරි කරගෙන ධන සැපයීම් ධනය පරෙස්සම් කිරීම්, වියදම් කිරීම්, ඇඳුම් පැළඳුම් ආහාර පාන සැපයීම් හැඳීම් කෑම් පීම් කරන්නහුට ද අකුසල් සිත් ඇති නො වේ.

රසය ගැන අපේක්ෂාවෙන් හෝ ශරීරය ලක්ෂණ කර ගැනීම් ආදිය ගැන අපේක්ෂාවෙන් හෝ ආහාරයක් පිළියෙළ කරන්නා හට ද වළඳන්නාහට ද ඇති වන්නේ ලෝභ මූල සිත් ය.

සාගින්න සන්සිඳවා ගැනීම, ජීවිතය පවත්වා ගැනීම අපේක්ෂා කොට ආහාරයක් පිළියෙළ කරන්නා හට ද ඇති වන්නේ අකුසල් සිත් නොවේ.

ලස්සන වීමේ අපේක්ෂාවෙන් - අනුන්ගේ සිත් ගැනීමේ අපේක්ෂාවෙන් - උසස් කෙනකු ලෙස පෙනී සිටීමේ අපේක්ෂාවෙන් ඇඳුම් පැළඳුම් පිළියෙළ කිරීමේදී ද හැඳීමේ පැළඳීමේ දී ද ඇති වන්නේ ලෝභ මූල සිත් ය.

දකින්නවුන් පිළිකුල් කරන තැන් වසා ගැනීමේ බලාපොරොත්තුවෙන්, ශීත නැති කර ගැනීමේ-උෂ්ණය නැතිකර ගැනීමේ - මැසි මදුරුවන් ගෙන් ආරක්ෂා වීමේ බලාපොරොත්තුවෙන් ඇඳුම් පිළියෙළ කරන්නා වූ ද, හඳින්නා වූ ද තැනැත්තාට අකුසල් සිත් ඇති නොවේ.

ඇඳුම ලස්සන නැති බව නිසා දක්නවුන් කරන අවමානයෙන් මිදීමේ අපේක්ෂාවෙන් ලස්සන ඇඳුමක් වටිනා ඇඳුමක් පිළියෙළ කිරීමේදී ද හැඳීමේදී ද අකුසල් සිත් ඇති නො වේ.

කන සැටි බලා විනෝදය ලබනු පිණිස සතුන්ට කුඩා ළමුන්ට කෑම දීමේදී ඇති වන්නේ ද ලෝභ මූල සිත් ය. සතුන්ට අනුග්‍ර‍හයක් වශයෙන් කෑම දෙන කල්හි ඇති වන්නේ කුසල් සිත් ය.

ලස්සන සතුන් දැක අල්ලා ගැනීමේදී ද, ලස්සන බලනු පිණිස ඔවුන් පෝෂණය කිරීමේදී ද ඇති වන්නේ ලෝභ මූල සිත්ය.

ප්‍ර‍ශ්න

  1. ලෝභමූල සිත්වලින් සිදුවන අකුශල කර්මපථ කවරහු ද?
  2. ලෝභමූල සිත්වලින් සිදුවිය හැකි තවත් ලොකු පව් මොනවාද?
  3. ලෝභමූල සිත්වලින් ඇඳුමක් අඳින්නේ කෙසේද?
  4. පව් සිත්වලින් තොර ව ලස්සන ඇඳුමක් අඳින්නේ කෙසේ ද?
  5. සතකුට කෑම දීමේ දී ලෝභමූල සිත් ඇති වන්නේත් නො වන්නේත් කෙසේ ද?

7. ලෝභමූල සිත් අට උපදනා සැටි

(1) “පොහොසතා වෙත වැඩිපුර ඇති දෙය ගැනීමේ වරදක් නැත. අධර්මයෙන් උපයා තිබෙන මේ වස්තුව ගැනීමේ වරදක් නැත.” යනාදීන් යම් කිසි මිථ්‍යා අදහසක් පෙරටු කොට ගෙන මහත් සතුටින් කාගේවත් මෙහෙයීමක් නැතුව අනුන් අයත් වස්තුව සොරා ගැනීම, “මේවා අපට දෙවියන් දුන් ඒවාය” කියා මිථ්‍යා අදහසක් පෙරදැරි කරගෙන කාගේවත් මෙහෙයීමක් නැති ව මහත් සතුටින් රස විඳිමින් බොජුන් වැළඳීම යනාදියෙහි සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංකාරික සිත උපදී.

(2) අනිකකුගේ මෙහෙයීමකින් හෝ පසු බස්නා වූ තමාගේ සිත තමා විසින් ම උත්සාහවත් කරවා ගැනීමෙන් හෝ ඉහත කී පරිදි කරන්නහුට සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.

(3) යම්කිසි දෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන කෙනකුගේ මෙහෙයීමක් ද නැතිව සතුටින් අන්සතු වස්තුව සොරා ගැනීම, දෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන කෙනකුගේ මෙහෙයීමක් ද නැතිව සතුටින් රස බොජුන් වැළඳීම යනාදිය කිරීමේ දී සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත උපදී.

(4) අනුන්ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් ම තමාගේ සිත උත්සාහවත් කර ගැනීමෙන් හෝ ඉහත කී පරිදි කිරීමේදී සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.

(5) “වැඩිපුර ඇති මිනිසාගෙන් ගත්තාට පවක් නැත.” යනාදීන් යම්කිසි මිථ්‍යා අදහසක පිහිටා කාගේවත් මෙහෙයවීමක් ද නැතිව ප්‍රීතියෙන් ද තොරව අන්සතු වස්තුව සොරකම් කිරීම: මේවා දෙවියන් දුන් ඒවාය යනාදීන් මිථ්‍යා අදහසක් පෙරදැරි කරගෙන ප්‍රීතියක් හා කෙනකුගේ මෙහෙයීමක් ද නැති ව සුරා පානය කිරීම යනාදිය කරන්නහුට උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත උපදී.

(6) අනුන් ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් පසුබස්නා සිත උත්සාහවත් කරවා ගැනීමෙන් හෝ ඉහත කී පරිදි කිරීමේදී උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.

(7) මිථ්‍යාදෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන, ප්‍රීතියකුත් නැති ව, කෙනකුගේ මෙහෙයීමක් ද නැති ව, අදත්තාදානාදිය කිරීමේදී උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත උපදී.

(8) කෙනකු ගේ මෙහෙයීමෙන් හෝ තමා විසින් ම පසුබස්නා සිත උත්සාහවත් කර ගැනීමෙන් හෝ එසේ කරන්නහුට උපේක්ෂා සසහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.

විපාක දීමේදී අදත්තාදානාදි අකුශල කර්ම පථ සත සිදු කිරීම් වශයෙන් උපදනා ලෝභ මූල සිත් බලවත් වේ. අඹු-දරුවන්ට ධනයට ඇලුම් කිරීම් ආදි වශයෙන් උපදනා ලෝභ මූල සිත් දුබල ය. ඒවායේ විපාක දීම ද අනියත ය. දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත්වලට වඩා දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත අකුසල සිත බලවත් ය. සසංඛාරික සිතට වඩා අසංඛාරික සිත බලවත් ය. සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත් ය.

ප්‍ර‍ශ්න

  1. දෙවියන් දුන් දරුවාය කියා තමා ගේ දරුවා සිප වැළඳගන්නා මවට ඇති වන සිත කුමක් ද?
  2. මිත්‍ර‍යකුගේ ආමන්ත්‍ර‍ණයෙන් ගොස් නාට්‍යයක් බලා ප්‍රීති වන්නහුට උපදනා සිත කුමක් ද?
  3. ලස්සන බලු පැටවකු දැක ආදරය ඇති වී ඌට කෑමක් දෙන්නහුට ඇති වන සිත කුමක් ද?
  4. හිතවතුන්ගේ ඉල්ලීම නිසා කැමැත්තක් නැති රසවත් අහරක් වළඳන කෙනකුට ඇති වන සිත කුමක් ද?
  5. අනුන්ට වඩා ලස්සන වීමේ බලාපොරොත්තුවෙන් හොඳ ඇඳුමක් ඉතා ඕනෑ කමින් මහත් සතුටින් අඳින්නහුට ඇති වන සිත කුමක් ද?
  6. ලෝභ මූල සිත් වලින් විපාක දීමේ ශක්තිය ඉතා ම වැඩි සිත කුමක් ද?
  7. විපාක දීමේ ශක්තිය ඉතා ම අඩු ලෝභ මූල සිත කුමක් ද?

8. ද්වේෂ මූල සිත් දෙක

ද්වේෂය යනු සිතින් ගන්නා වූ අරමුණ කෙරෙහි ඇති වන විරුද්ධ ස්වභාවය ය. අරමුණට නො කැමති ස්වභාවය ය. කෝපය, තරහව, වෛරය, භය, අප්පිරියාව, නො සතුට යන වචනවලින් කියැවෙන්නේ ද ද්වේෂය ය. අරමුණෙහි හැපෙන්නාක් මෙන් ඇති වන බැවින් එයට “ප්‍ර‍තිඝ” යයි ද කියනු ලැබේ. ද්වේෂ මූල චිත්තය ලෝභ මූල චිත්තය මෙන් වේදනා වශයෙන් භේදයට නො පැමිණේ. එය සැම කල්හි ම දෝමනස්ස වේදනාවෙන් ම යුක්ත වේ. දෝමනස්ස වේදනා ව ය යනු අරමුණේ නරක ගතිය ආස්වාසය කරන ස්වභාවය ය. ශෝක යයි කියනුයේ ද දෝමනස්ස වේදනාවටය. ද්වේෂමූල චිත්තය භේදයට පැමිණෙන්නේ සංස්කාර වශයෙන් පමණකි.

දෝමනස්ස සහගත ප්‍ර‍තිඝ සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිතය

දෝමනස්ස සහගත ප්‍ර‍තිඝ සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිතය

කියා ද්වේෂමූල සිත් දෙකකි. කෙනකුගේ මෙහෙයීමක් නැති ව තමා ගේ ඕනෑකමින් ප්‍රාණඝාතාදිය කිරීමෙහිදී පළමුවන සිත ඇති වේ. මෙහෙයීමකින් ප්‍රාණඝාතාදිය කිරීමෙහිදී දෙවන සිත ඇති වේ.

ක්‍රීඩා පිණිස සිනහවෙන් සතුන් මරන කල්හි ඇති වන්නේ ද ද්වේෂ මූල සිත් ම ය. එබඳු අවස්ථාවල ඇතිවන ද්වේෂය සියුම් ය. තමාට හානියක් කරන්නට එන සතුරකු මැරීමේ දී ඇති වන ද්වේෂය රෞද්‍ර‍ය. ක්‍රීඩා පිණිස සිනහවෙන් සතුන් මරන කල්හි ද්වේෂය නැතය යි වරදවා නො ගත යුතු.

ද්වේෂ මූල සිත් උපදනා අවස්ථා

ප්‍රාණඝාතය, පරුෂ වචනය, ව්‍යාපාදය, අදත්තාදානය, මෘෂාවාදය, පෛශූන්‍ය වචනය, සම්පප්‍ර‍ලාපය යන අකුශල කර්මපථ සත සිදු කිරීම් වශයෙන් ද්වේෂ මූල සිත් උපදී.

තවද අනුන්ගේ අගුණ කීමේදී ද, ඒවාට ඇහුම් කන් දීමේ දී ද, තමා කළ වරද කියනවා ඇසෙන කල්හි ද, තමාගේ අඩුපාඩුකම් - දුබලකම් කියනවා ඇසුණු කල්හි ද, සේවකාදීන් අකීකරු වූ කල්හි ද, අනුන් වරද කරනවා දක්නා කල්හි ද, අනුන් වරද කරනු ඇතය කියා සිතෙන කල්හි ද, තමා ආදරයෙන් පරෙස්සම් කරන දේවල් අනුන් අත පත ගානවා දුටු කල්හි ද, තමා ඇලුම් කරන දෙයක් අනුන් ඉල්ලන කල්හි ද, අනුන්ගෙන් තමා ඉල්ලන දෙයක් නුදුන් කල්හි ද, තමා කියන වැඩක් අනුන් නො කළ කල්හි ද, තමා ගේ කීම අනුන් නො පිළිගන්නා කල්හි ද, අනුන් තමාට සතුරු කම් කරන කල්හි ද, සතුරන් දක්නා කල්හි ද, තමාට කළ සතුරු කම් සිහි වන කල්හි ද, බොහෝ දෙනාට ද්වේෂමූල සිත් උපදී.

මා - පිය, දූ - දරු ආදි හිතවතකු මළ කල්හි ද, අන් අලාභයක් වූ කල්හි ද, තමා අතින් විශාල වරදවල් සිදු වූ කල්හි ද, ශෝක කිරීම් වශයෙන් උපදින්නේ ද ද්වේෂමූල සිත් ය.

තමාට වඩා හොඳින් කන - බොන අය, අඳින - පළඳින අය දුටු කල්හි ද, හොඳ රථවාහනවලින් යනෙන අය දුටු කල්හි ද, හොඳ ගෙවල් සාදාගෙන ඉන්නා අය දුටු කල්හි ද, ගරු බුහුමන් ලබන අය දක්නා කල්හි ද ඊර්ෂ්‍යා සහගත ව ද්වේෂමූල සිත් ඇති වේ.

නිතර අනුන්ගේ අගුණ සොයමින් කියමින් සිතමින් ඉන්නා ඇතමුන්ට එක් එක් දිනක බොහෝ ද්වේෂ මූලික අකුසල් සිත් පහළ වේ.

ප්‍ර‍ශ්න

  1. ද්වේෂය යනු කුමක් ද?
  2. ද්වේෂමූල සිත වේදනා කීයකින් යුක්ත වෙනවා ද?
  3. ශෝකය යනු කුමක් ද?
  4. ද්වේෂමූල සිත්වලින් සිදුවිය හැකි අකුශල කර්ම පථයෝ කවරහුද?
  5. අනුන්ගේ දොස් කීමේදී ඇතිවන සිත කුමක් ද?
  6. ශෝක කිරීමේදී ඇති වන සිත කුමක් ද?
  7. දවසෙහි බොහෝ ද්වේෂ මූලික සිත් ඇති විය හැක්කේ කෙබඳු අයට ද?
  8. යමක් ඉල්ලන්නට ආ තැනැත්තාට කරදරයෙන් නිදහස් වීම පිණිස යමක් දෙන කල්හි ඇති විය හැකි සිත කවරේ ද?

9. මෝහමූල සිත් දෙක

යම් කිසි කරුණක් සිතන කල්හි ඒ කරුණ හරියට දැන ගන්නට නො පිළිවන් වන පරිදි සිත අඳුරු කරන එක්තරා ස්වභාවයකට මෝහය යි කියනු ලැබේ. එය සාමාන්‍යයෙන් අකුසල් සිත් සියල්ලෙහි ම ඇත්තේ ය. එය මෝහ මූල චිත්තයෙහි බලවත් ව ඇත්තේ ය. මෝහ මූල චිත්තය බෙදෙන්නේ විචිකිච්ඡා, උද්ධච්ච යන චෛතසික දෙකෙනි.

බුද්ධාදි රත්නත්‍ර‍ය ගැන හා පින් පව්වල විපාක, මරණින් මතු නැවත ඉපදීම යනාදිය ගැන හටගන්නා සැකය විචිකිච්ඡා නම් වේ. යම් කිසිවක් සිතන කල්හි කරන කල්හි සිතෙහි හටගන්නා නො සන්සුන් ගතිය කලබල ගතිය උද්ධච්ච නම් වේ. මෝහමූල චිත්තය සමහර අවස්ථාවෙක විචිකිච්ඡාවෙන් යුක්ත ව ද සමහර අවස්ථාවෙක බලවත් උද්ධච්චයෙන් යුක්ත ව ද උපදී.

මෝහමූල චිත්තය, අරමුණේ සැටි වසන මෝහයෙන් යුක්ත වන නිසා ද, අරමුණ ගැන නිශ්චයක් නැති නිසා ද, උද්ධච්චයාගේ වශයෙන් සැලෙන නිසා ද, අරමුණු රසය හොඳින් ගැනීමට සමත් නොවේ. එබැවින් සෑම කල්හි ඒ සිත උපේක්ෂා සහගත ම වේ.

සැකය ය නො සන්සුන් කම ය යන මේ දෙක ප්‍ර‍කෘතියෙන් ම සත්ත්වයන් තුළ ඇති වන කරුණු දෙකකි. ඒවා කෙනකුගේ මෙහෙයීමෙන් ඇති වන ධර්ම නො වේ. එබැවින් මෝහමූල චිත්තයෙහි සඞ්ඛාර භේදය නො ලැබේ. සියලු ම මෝහමූල සිත් අසඞ්ඛාරිකය.

  1. උපේක්ෂා සහගත විචිකිත්සා සම්ප්‍ර‍යුක්ත සිතය
  2. උපේක්ෂා සහගත ඖධත්‍ය සම්ප්‍ර‍යුක්ත සිතය

යි මෝහමූල සිත් දෙකකි.

මෝහමූල සිත් දුබල බැවින් ඒවායින් ලෝභමූල දෝසමූල සිත්වලින් මෙන් බරපතල විපාක ඇති නො වේ. විචිකිච්ඡා සහගත සිතෙහි ඇති විශේෂ නපුර නම් එය ඇති වන තැනැත්තා ගේ සිත පස්කම් සැපයට මිස කුශලයට නො නැමීම ය. විචිකිච්ඡාව ඇතිව කුශලයක් කළත් එය බලවත් කුශලයක් නො වේ.

සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ ඥානය ඉක්ම වූ උසස් නුවණ ඇති බුද්ධාදී මහෝත්තමයන්ට මිස, සෙස්සන්ට අවිෂය වූ කරුණු විවේචනය කරන්නට යෑමෙනුත්, පරලොව ආදිය පිළිබඳ ව සාමාන්‍ය ජනයා කරන පුහු විවේචන ඇසීමෙනුත්, කියැවීමෙනුත් බොහෝ දෙනාට විචිකිච්ඡාව වැඩි වේ. එය දුරු කර ගැනීමට ඇත්තා වූ උපාය නම් තමාගේත් බුද්ධාදීන්ගේත් වෙනස තේරුම් ගෙන ශ්‍ර‍ද්ධාව දියුණු කර ගැනීමය.

උද්ධච්ච සහගත සිත වනාහි හදිසියෙන් පැමිණෙන කරුණුවලදිත් එක විට බොහෝ වැඩ කිරීමේදීත් ඉක්මනින් වැඩ කිරීමේදීත් සමහර විට ඇති වන්නකි. ඉතා දුබල බැවින් මරණින් මතු සත්ත්වයා අපායට පැමිණවීමේ ශක්තිය ද ඒ සිතට නැත. ඉතිරි අකුසල් සිත් එකොළොසට අපායට පැමිණවීමේ ශක්තිය ඇත්තේ ය.

ලෝභමූල සිත් අට ය, ද්වේෂමූල සිත් දෙක ය, මෝහමූල සිත් දෙකය කියා අකුසල් සිත් දොළොසෙකි.

ඒ සිත් දොළොසෙහි සෝමනස්ස සහසගත සිත් සතරක් ද, උපේක්ෂා සහගත සිත් සයක් ද, දෝමනස්ස සහගත සිත් දෙකක් ද, අසඞ්ඛාරික සිත් සතක් ද, සසඞ්ඛාරික සිත් පසක් ද ඇත්තේ ය.

ප්‍ර‍ශ්න

  1. මෝහය යනු කුමක් ද?
  2. විචිකිච්ඡාව යනු කුමක් ද?
  3. උද්ධච්චය යනු කුමක් ද?
  4. මෝහමූල චිත්තය බෙදෙන්නේ කුමකින්ද?
  5. මෝහමූල සිත සෝමනස්සයෙන් හෝ දෝමනස්සයෙන් යුක්ත නොවන්නේ කුමක් නිසා ද?
  6. මෝහමූල චිත්තයෙහි සඞ්ඛාර භේදය නො ලැබෙන්නේ කුමක් නිසා ද?
  7. විචිකිච්ඡාව දුරු කර ගත හැක්කේ කෙසේ ද?
  8. විචිකිච්ඡාව ඇති වීමේ හේතු මොනවා ද?
  9. සියල්ලට ම දුබල අකුසල සිත කුමක් ද?

10. අහේතුක සිත් අටළොස

මේ ධර්මයෙහි ලෝභ - ද්වේෂ - මෝහ - අලෝභ - අද්වේෂ - අමෝහ යන චෛතසික ධර්ම සයට හේතු යන නම ව්‍යවහාර කරනු ලැබේ. හේතු යන නාමය ව්‍යවහාර කරන චෛතසික සයෙන් යටත් පිරිසෙයින් එකක් හෝ යෙදෙන සිතට සහේතුක සිතකැ යි කියනු ලැබේ. එක හේතු ධර්මයකුදු නො ලැබෙන සිත්වලට අහේතුක සිත් යයි කියනු ලැබේ. අකුශල විපාකය, කුශල විපාකය, ක්‍රියාය කියා අහේතුක සිත් තුන් කොටසක් ඇත්තේ ය. ඒ සිත්වලට අහේතුක නාමය ව්‍යවහාර කරන්නේ ඒවා යම්කිසි හේතුවක් නැති ව ඉබේ ම ඇති වන ඒවා නිසා නොව, හේතු යන නම ව්‍යවහාර කරන ලෝභාදි ධර්ම සයෙන් එකකුත් ඒ සිත්වල නැති නිසා බව විශේෂයෙන් මතක තබා ගත යුතු ය. (හේතු පිළිබඳ විස්තරයක් මතු පරිච්ඡේදයක එනවා ඇත.) අකුශල විපාක සිත් සතක් ද, කුශල විපාක සිත් අටක් ද, ක්‍රියා සිත් තුනක් ද, ඇති බැවින් අහේතුක සිත් (18) අටළොසක් වේ.

විපාක යනු කුශලාකුශලයන් කළ තැනැත්තාගේ සන්තානයෙහි ඒ කුශලාකුශලයන් නිසා අනාගතයෙහි ඇති වන සිත් ය. කුශලාකුශලයන් ගේ බලයෙන් අනාගතයෙහි ඇති කරවන සිත් ය.

අකුශල විපාක සිත් සත

සාමාන්‍යයෙන් අකුශල විපාකය එකක් වුව ද සිත් උපදනා ස්ථානයන් ගේ වශයෙන් ද, සිත්වලින් සිදුකරන කෘත්‍යයන් ගේ වශයෙන් ද අකුශල විපාක සතක් වේ.

ඇස ය, කන ය, නාසය ය, දිව ය, කය ය, හෘදය රූපය ය කියා සිත් උපදනා ස්ථාන සයක් ඇත්තේ ය. (ඒවා ගැන විස්තර මතු දත හැකි වනු ඇත.) විපාක සිත් අතර ඇසෙහි උපදනා සිත් ද ඇත්තේ ය. කනෙහි උපදනා සිත් ද, නාසයෙහි උපදනා සිත් ද, දිවෙහි උපදනා සිත් ද, කයෙහි උපදනා සිත් ද ඇත්තේ ය. ඒ සිත්වලට උපදනා ස්ථාන අනුව නම් දී තිබේ. හෘදය රූපයෙහි උපදනා සිත් බොහෝ බැවින් ඒවාට උත්පත්ති ස්ථානය අනුව නම් නො දිය හැකි ය. අහේතුක සිත්වල හෘදයෙහි උපදනා සිත්වලට ඒ ඒ සිතින් සිදුකරන කෘත්‍යය අනුව නම් දී තිබේ.

  1. උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය
  2. උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය
  3. උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය
  4. උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය
  5. දුක්ඛ සහගත කාය විඤ්ඤාණය
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය
  7. උපෙක්ඛා සහගත සන්තීරණය

මේ සත අකුශල විපාක සිත් ය.

චක්ඛුවිඤ්ඤාණය යන්නෙහි තේරුම, ‘ඇසෙහි උපදනා සිතය’ යනුයි. එයින් ඇස ඉදිරියට පැමිණි රූපයේ දැකීම සිදු කරනු ලැබේ.

සෝතවිඤ්ඤාණය යන්නෙහි තේරුම, ‘කනෙහි උපදනා සිතය’ යනුයි. එයින් කනට පැමිණෙන ශබ්ද ඇසීම කරනු ලැබේ.

ඝාන විඤ්ඤාණය යන්නෙහි තේරුම, “නාසයෙහි උපදනා සිතය” යනුයි. එයින් නාසයට පැමිණෙන ගන්ධයන් දැනගැනීම සිදු කරනු ලැබේ.

කාය විඤ්ඤාණය යන්නෙහි තේරුම, “කයෙහි උපදනා සිතය” යනුයි. එයින් ශරීරයෙහි සිදුවන සැපීම් දැනගනු ලැබේ.

චක්ෂුර්විඥානාදි විඥාන පසින් ගන්නා ලද අරමුණ පිළිගන්නා සිතට සම්පටිච්ඡන සිතය යි කියනු ලැබේ.

සම්පටිච්ඡනයෙන් ගත් අරමුණ විමසන්නා වූ සිත සන්තීරණ නම් වේ. (සම්පටිච්ඡන - සන්තීරණ සිත් දෙකෙහි තතු වීථි කාණ්ඩයේ දී දත හැකි වනු ඇත. දැන් සිත් ගණන පමණක් මතක තබාගන්න.)

අහේතුක කුශල විපාක සිත් අට

  1. උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය
  2. උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය
  3. උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය
  4. උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය
  5. සුඛ සහගත කාය විඤ්ඤාණය
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය
  7. සෝමනස්ස සහගත සන්තීරණය
  8. උපෙක්ඛා සහගත සන්තීරණය

මෙසේ අහේතුක කුශල විපාක සිත් අටෙකි.

අකුසල් සිත්වලින් ඇති කරන්නේ අහේතුක විපාක පමණෙකි. කුසල් සිත්වලින් අහේතුක සහේතුක විපාක දෙවර්ගය ම ඇති කරනු ලැබේ. කියන ලදුයේ කුශලයෙන් ඇති කරන අහේතුක විපාක සිත් ය. කුශලයෙන් ඇති කරන සහේතුක විපාක පසුව දත හැකි වනු ඇත. අහේතුක කුසල විපාක සිත් මිස, අහේතුක කුසල් සිත් කොටසක් නැති බව ද මතක තබා ගත යුතු ය.

අකුසල විපාකවලට වඩා අහේතුක කුශල විපාක වල ඇති වෙනස, කාය විඥානය සුඛ සහගත වීමත්, සන්තීරණ දෙකක් වීමත් ය.

සන්තීරණ දෙකක් වී ඇත්තේ අරමුණු අනුව ය. අරමුණ ඉතා හොඳ වන කල්හි සන්තීරණය සෝමනස්ස සහගත වේ. අරමුණ මධ්‍යම වන කල්හි උපේක්ෂා සහගත වේ.

ප්‍ර‍ශ්න

  1. මේ සිත්වලට අහේතුක සිත්ය කියන්නේ ඉබේ ම ඇති වන නිසා ද? නැතහොත් අනික් කරුණක් නිසා ද?
  2. හේතු යන නම ව්‍යවහාර කරන ධර්‍මයෝ කවරහු ද?
  3. විපාකය යි කියනුයේ කෙබඳු සිත් කොටසකට ද?
  4. අහේතුක සිත්වලට නම් දී තිබෙන්නේ කෙසේ ද?
  5. අකුසල් සිත්වලින් සහේතුක විපාකත් ඇති කරනවා ද?
  6. අකුශල විපාක සිත්වලට වඩා කුශල විපාක සිත්වල වෙනස්කම් මොනවා ද?

11. අහේතුක ක්‍රියා සිත් තුන

විපාක උපදවන ස්වභාවයක් නැති යම්කිසි කර්මයක විපාකත් නො වන සිත්වලට ක්‍රියා සිත්ය යි කියනු ලැබේ. යම්කිසි කෘත්‍යයක් සිදුකිරීම හැම සිතකම ස්වභාවය ය. විපාක උපදවන සිත්වලට කුසල්ය, අකුසල් ය යන නම් දුන් බැවිනුත් ඒවායින් උපදවන සිත්වලට විපාක යන නම දුන් බැවිනුත් ඉතිරි වන සිත් කොටසට ඒ ඒ කෘත්‍යයන් සිදුකිරීම් වශයෙන් ඇතිවීම නිමිත්ත කොට ක්‍රියා යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. අහේතුක ක්‍රියා සිත්වලට නම් තබා ඇත්තේ ද ඒ සිත්වලින් සිදුකරන කෘත්‍යයන් අනුව ය.

  1. උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජනය
  2. උපෙක්ඛා සහගත මනොද්වාරාවජ්ජනය
  3. සෝමනස්ස සහගත හසිතුප්පාදය

යනු අහේතුක ක්‍රියා සිත් තුන ය.

ඇස, කන, නාසය, දිව, කය යන මේ සිත් උපදනා ස්ථානවලට ද්වාරය යි ද කියනු ලැබේ. චිත්තසන්තානයට රූපාදි අරමුණු ඇතුළු වන්නේ ඒ ද්වාරවලිනි. භවාඞ්ග චිත්තය යි කියන සත්ත්වයාගේ ප්‍ර‍කෘති චිත්තය හා තවත් බොහෝ සිත් ද ඇතිවන්නේ හෘදය කෝෂයෙහි ය. හෘදය කෝෂයෙහි පවත්නා වූ භවාඞ්ග චිත්ත පරම්පරාවට මනෝද්වාරය යි කියනු ලැබේ. නා නා කරුණු සම්බන්ධයෙන් නොයෙක් සිත් නැඟි නැඟී එන්නේ හෘදය කෝෂයෙහි පවත්නා භවාඞ්ග චිත්තයෙනි.

චක්ෂුරාදි ද්වාර පසින් යම් කිසිවකට අරමුණක් පැමිණිය හොත් එකෙණෙහි ම ඒ අරමුණ මනෝද්වාරයේ ද සැපේ. එයින් භවාඞ්ග සිත් ඉපදීම නැවතී, ද්වාරයක යම්කිසි අරමුණක් ගැටුණු බව දැනගන්නා සිතක් පහළ වේ. එය පඤ්චද්වාරයෙහි ගැටුණ අරමුණ මෙනෙහි කිරීමක් බැවින් ඒ සිතට පඤ්චද්වාරාවජ්ජන යයි කියනු ලැබේ. පඤ්චද්වාරයෙහි ගැටීමක් නො වී කෙළින් ම මනෝද්වාරයට ද අරමුණු පැමිණේ. එසේ පැමිණෙන අරමුණු සම්බන්ධයෙන් මුලින් ම පහළ වන සිත මනෝද්වාරාවජ්ජන නම් වේ.

පඤ්චද්වාරාවජ්ජනය යනු පඤ්චද්වාරයට පැමිණෙන අරමුණු මෙනෙහි කර සිතය. මනොද්වාරාවජ්ජනය යනු මනොද්වාරයට පැමිණෙන අරමුණ පළමුවෙන් ම මෙනෙහි කරන සිත ය. (මේ සිත් දෙක පිළිබඳ අවබෝධයක් ඇති කර ගත හැකි වන්නේ වීථි කාණ්ඩය උගෙනීමේ දී ය. දැන් සාමාන්‍යයෙන් සිත් දෙක පමණක් මතක තබාගන්න.)

හසිතුප්පාද චිත්තය යනු සිනා උපදවන සිත ය. සිනා උපදවන සිත් තවත් ඇත්තේ ය. මේ අහේතුක ක්‍රියා චිත්තය ද ඉන් එකකි. සිනා උපදවන අන් සිත්වලින් සිනාව පමණක් නොව තවත් දේ ද සිදු කරනු ලැබේ. මේ සිතින් කරන්නේ සිනාව පමණෙකි. එබැවින් මෙයට හසිතුප්පාද යන නම තබා ඇත්තේ ය.

මේ අහේතුක ක්‍රියා සිත් තුන හැර තවත් ක්‍රියා සිත් (17) සතළොසක් ඉදිරියෙහි කියැවෙන්නේ ය. ක්‍රියා සිත් සියල්ල ම (20) විස්සෙකි. ඒ සිත්වලින් පඤ්චද්වාරාවජ්ජන, මනොද්වාරාවජ්ජන දෙක හැර ඉතිරි ක්‍රියා සිත් (18) අටළොස ම ඇති වන්නේ රහතුන්ට ය. මේ හසිතුප්පාද සිත ද රහතුන්ට පමණක් ඇති වන සිතකි. රහත්හු සාමාන්‍ය ජනයා මෙන් හඬ ලා සිනාසෙන්නාහු නො වෙති. සිනාව සයාකාර වන බව අලඞ්කාර ශාස්ත්‍රයෙහි දක්වා තිබේ. සිතය, හසිතය, විහසිතය, උපහසිතය, අපහසිතය, අතිහසිතය යනු සයාකාර සිනාවන්ගේ නාමයෝ ය.

මුහුණ බලා ඉන්නා කෙනකුට ප්‍රීතිමත් වූ බව අඟෙන පරිදි ඇස් දෙක පමණක් මඳක් විවෘත වන සිනාව සිත නම් වේ. දත්වල අග පෙනෙන හඬ නො නැගෙන සිනාව හසිත නම් වේ. බුද්ධ ප්‍රත්‍යේක බුද්ධාදි උත්තම පුද්ගලයෝ ඒ දෙයාකාරයෙන් සිනාසෙති. හඬ නගා සිනාසීම නො කෙරෙති.

මිහිරි හඬක් නැගෙන සිනාව විහසිත නම් වේ. හිස හා උරහිස් සැලෙන සිනාව උපහසිත නම් වේ. කල්‍යාණ පෘථග්ජනයෝ ද ශෛක්ෂයෝ ද ඒ දෙයාකාරයෙන් සිනාසෙති. මහ හඬ නගා නො සිනාසෙති.

ඇස්වලින් කඳුළු ගලන සිනාව අපහසිත නමි. ශරීරාවයව සියල්ල ම සොලවමින් දඟලමින් කරන සිනාව අතිහසිත නමි. ගුණධර්ම දියුණු කර නොගත් ලාමක අදහස් ඇත්තෝ ඒ දෙයාකාරයෙන් සිනාසෙති. හසිතෝත්පාද සිතින් ඇති කරන්නේ සිත - හසිත දෙක පමණෙකි.

අකුශල විපාක සිත් සත ය, කුශල විපාක සිත් අට ය, ක්‍රියා සිත් තුන යයි අහේතුක සිත් අටළොසකි. අහේතුක සිත් දුබල කොටසක් නිසා ඒවායේ සඞ්ඛාර භේදයක් අභිධර්ම පාළියෙහි දක්වා නැත. සිත් ගණන් ගැනීමේදී අහේතුක සිත් අටළොස ම අසඞ්ඛාරික සිත් ලෙස ගණන් ගනු ලැබේ.

අහේතුක සිත් අටළොසෙහි ඇත්තේ සෝමනස්ස සහගත සිත් දෙකකි. උපේක්ෂා සහගත සිත් (14) තුදුසෙකි. සුඛ සහගත සිත් එකකි. දුඃඛ සහගත සිත් එකකි.

අකුශල සිත් (12) දොළොස ය, අහේතුක සිත් (18) අටළොස ය යන සිත් තිසට අශෝභන සිත් යයි කියනු ලැබේ. මතු කියනු ලබන එක් ක්‍ර‍මයකින් (59) එකුන් සැටක් වූ ද, තවත් ක්‍ර‍මයකින් (91) එක් අනූවක් වූ ද සිත්වලට සෝභන සිත් ය යි කියනු ලැබේ.

ප්‍ර‍ශ්න

  1. ක්‍රියා සිත් ය කියනුයේ කෙබඳු සිත්වලට ද?
  2. අහේතුක ක්‍රියා සිත්වලට නම් තබා ඇත්තේ කුමකින් ද?
  3. හසිතුප්පාද සිතින් උපදවන සිනා දෙක කුමක් ද?
  4. ඒ සිත ඇති වන්නේ කාට ද?
  5. අශෝභන සිත් කොතෙක් ද?
  6. ඒවායේ සෝමනස්ස සහගත සිත් කොතෙක් ද?
  7. උපේක්ෂා සහගත සිත් කොතෙක් ද?
  8. දෝමනස්ස සහගත සිත් කොතෙක් ද?
  9. අසඞ්ඛාරික සිත් කොතෙක් ද?
  10. සසඞ්ඛාරික සිත් කොතෙක් ද?

12. කාමාවචර කුසල් සිත් අට

යම් කිසිවකුගේ සන්තානයෙහි ඇති වුව හොත් ඒ තැනැත්තා ගේ සන්තානයෙහි අනාගතයෙහි ඉෂ්ට විපාක ඇති කරන්නා වූ සිත්වලට කුසල් සිත් යයි කියනු ලැබේ. දන් දීම්, සිල් රැකීම් ආදි වශයෙන් සාමාන්‍ය ජනයාට ඇති වන කුශලය කාමාවචර කුශලය ය. ශ්‍ර‍ද්ධාව බලවත්වීම් රිසි සේ දාන වස්තූන් ලැබී ප්‍රිය ප්‍ර‍තිග්‍රාහකයන් ලැබීම් ආදියෙන් ඒ කුශල චිත්තය සෝමනස්සයෙන් යුක්ත ව ද, ඒවා නො ලත් අවස්ථාවලදී උපේක්ෂාවෙන් යුක්ත ව ද ඇති වේ. එබැවින් සාමාන්‍යයෙන් එකක් වූ කුශල චිත්තය සෝමනස්ස සහගත සිත ය, උපේක්ෂා සහගත සිත ය කියා දෙකක් වේ. සමහර අවස්ථාවලදී ඒ කුශලය කර්ම කර්මඵලාදිය දන්නා නුවණින් යුක්තවද සමහර විට නුවණින් තොරව ද ඇති වේ. එබැවින් සෝමනස්ස සහගත සිත ද ඥාන සම්ප්‍ර‍යුක්ත සිතය, ඥාණ විප්‍ර‍යුක්ත සිතය කියා ද දෙකට බෙදේ. එසේ බෙදීමෙන් කුසල් සිත් සතරක් වේ. ඒ සතරින් එක එකක් නැවත සංස්කාර භේදයෙන් දෙකට දෙකට බෙදේ. එසේ බෙදීමෙන් කාමාවචර කුසල් සිත් අටක් වේ.

  1. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  2. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය
  3. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  4. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
  5. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  6. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
  7. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  8. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.

යන මේ අට කාමාවචර කුශල චිත්තයෝ ය.

මේ කාමාවචර කුශලයට මහා කුශල ය යි ද කියනු ලැබේ. එසේ කියන්නේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කුශලයන් මෙන් එය උසස් නිසා නොව, ලෝකයේ සෑම තැනම වෙසෙන බොහෝ දෙනාට ඇතිවන කුශලය නිසා ය. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කුසල් ඉතා ටික දෙනකුට පමණක් කලාතුරකින් ඇති වන ඒවා ය.

කාමාවචර කුසල් සිත් අට ඇති වන්නේ දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මසවන, ධම්මදේසනා, දිට්ඨිජ්ජුකම්ම යන දශ පුණ්‍යක්‍රියාවන් සිදුකිරීම් වශයෙනි.

දෙපනස් චෛතසිකයන් අතර චේතනා නම් වූ එක්තරා චෛතසිකයක් ඇත්තේ ය. දාන චේතනා, සීල චේතනා, භාවනා චේතනා, පාණාතිපාත චේතනා, අදත්තාදාන චේතනා, මිච්ඡාචාර චේතනා යනාදි වශයෙන් චේතනාවේ බොහෝ ප්‍රභේද ඇත්තේ ය. චිත්තය ඒ ඒ අතට හරවන්නේ චේතනාවෙනි.

මහා කුසල් සිත් අට අතුරෙන් එක එක සිතක් දානාදි චේතනා අනුව සෝමනස්ස සහගත ඥාණ සම්පයුක්ත අසඞ්ඛාරික දානමය කුශලය, සෝමනස්ස සහගත ඥාණ සම්පයුක්ත අසඞ්ඛාරික සීලමය කුශලය යනාදි වශයෙන් දශය බැගින් වේ. සියල්ල එක් කළ කල්හි දශපුණ්‍ය චේතනා අනුව කාමාවචර කුසල් සිත් (80) අසූවක් වේ.

සිතක ඇත්තා වූ ශක්තියක් සිත් ඒ ඒ අතට හරවන චේතනාව ම ය තියුණු වූ ද මහත් වූ ද චේතනාවකින් යුක්ත කුශලය බලවත් ය. මහා විපාක ඇත්තේ ය. දුබල කුඩා චේතනාවෙන් යුක්ත කුශලය දුබලය, අල්ප විපාක ඇත්තේ ය.

කෙනෙක් සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍ර‍යුක්ත අසඞ්ඛාරික චිත්තයෙන් යාචකයකුට ශතයක් දෙයි. ඔහු තවත් දිනයක දී ඒ චිත්තයෙන් ම ඒ යාචකයාට ම රුපියලක් දෙයි. ඒ දෙවාරයේ දී ම ඇති වන්නේ එක ම සිත ය. එහෙත් ශතය දීමේ චේතනාවට වඩා රුපියල දීමේ චේතනාව මහත් ය. එබැවින් රුපියල දෙන දා ඇති වන සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාරික සිත බලවත් බවත්, මහා විපාක ඇති කරවන බවත් කිය යුතු ය. මේ ක්‍ර‍මයෙන් සැම තැන ම චේතනා අනුව කුශලයන් ගේ කුඩා මහත් බව සලකා ගත යුතු ය.

කුශලයක් උසස් වීමට, බලවත් වීමට, ඇත්තා වූ ප්‍ර‍ධාන කරුණු ඥාන සම්ප්‍ර‍යුක්ත වීම ය. සෝමනස්ස සහගත වීම් ආදි කරුණු වලින් ඥාන සම්ප්‍ර‍යුක්ත කුශලයට වඩා ඥාන විප්‍ර‍යුක්ත කුශලයක් උසස් නොවේ. සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත අසංස්කාරික, සසංස්කාරික භාවයෝ කුශලය පිළිබඳ අප්‍ර‍ධාන කරුණු ය. සාමාන්‍යයෙන් කියන කල්හි උපේක්ෂා සහගත කුශලයට වඩා සෝමනස්ස සහගත කුශලය ද සසඞ්ඛාරික කුශලයට වඩා අසඞ්ඛාරික කුශලය ද උසස් යයි කියනු ලැබේ. ඥාන විප්‍ර‍යුක්ත කුශලයක් කිනම් කරුණකින්වත් ඥාන සම්ප්‍ර‍යුක්ත කුශලයට වඩා උසස් නොවේ.

කාමාවචර කුශල චිත්තයන් ගේ උත්පත්ති ක්‍ර‍මය

සොම්නසින් යුක්ත ව, කම්පල දන්නා නුවණින් යුක්ත ව කාගේවත් මෙහෙයීමක් නැති ව දන්දීම් ආදිය කිරීමේ දී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත උපදී.

සොම්නසින් හා නුවණින් යුක්ත ව මෙහෙයීමක් ඇති ව දන්දීම් ආදිය කිරීමෙහිදී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.

සොම්නසින් පමණක් යුක්ත ව නුවණින් යුක්ත නො වී කෙනකුගේ මෙහෙයීමක් ද නැති ව දන් දීම් ආදිය කිරීමෙහිදී සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත උපදී.

සොම්නසින් යුක්ත ව නුවණින් තොර ව මෙහෙයීමකින් දන් දීම් ආදිය කරන කල්හි සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.

සොම්නසක් නැති ව මද්‍යස්ථතාවෙන් යුක්ත ව කියන ලද පරිදි කිරීමේදී උපේක්ෂා සහගත කුසල් සිත් සතර ඇති වන සැටි සලකා ගත යුතු.

ප්‍ර‍ශ්න

  1. කුශල චිත්තය යනු කුමක් ද?
  2. කාමාවචර කුශල චිත්තය බෙදී තිබෙන්නේ කවර කරුණු වලින් ද?
  3. කාමාවචර කුශලයට කියන අනික් නම කුමක් ද?
  4. කුශලය උසස් වීමට ඇති ප්‍ර‍ධාන කරුණ කුමක් ද?
  5. චේතනා අනුව කාමාවචර කුශලය කොතෙක් වේ ද?
  6. කුශලයක කුඩා මහත් බව මනින්නේ කෙසේ ද?

13. සහේතුක කාමාවචර විපාක සිත් අට

වේදනා ඥාන සංස්කාරයන් අනුව කාමාවචර කුශලය සේ ම සහේතුක කාමාවචර විපාක සිත් ද අටක් වේ.

  1. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  2. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
  3. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  4. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
  5. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  6. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
  7. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
  8. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.

සහේතුක කාමාවචර විපාක සිත් අටෙකි.

කාමාවචරයා කුශලයා ගේ විපාක වශයෙන් ඇති වන සිත් මේ අට පමණක් නො වේ. ඉහත අහේතුක සිත්වල දී කියැවුණු කුශල විපාක සිත් අට ද, මේ කාමාවචර කුශලයා ගේ ම විපාකයෝ ය. කාමාවචර කුශලයා ගේ විපාක, අහේතුක සහේතුක වශයෙන් දෙවර්ගයෙකි. මේ සිත් අට සහේතුක කාමාවචර විපාක සිත් ය. අහේතුක සිත්වල දැක්වුණු කුශල විපාක සිත් අට අහේතුක කුශල විපාකයෝ ය.

කාමාවචර කුශලය කළ තැනැත්තා මළ පසු ජීවත් ව උන් කාලයේ දී පැවැති ඔහුගේ සිත් පරම්පරාවටම අයත් ව යම්කිසි භවයක මේ සහේතුක කාමාවචර විපාක සිත් කාමාවචර කුශලයා ගේ විපාක වශයෙන් උපදී. කුශලය ඉතා දුබල එකක් වී නම් කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණ සිත දුබල කුශලයා ගේ විපාක වශයෙන් අලුත් භවයෙහි පළමුවෙන් පහළ වේ. මරණින් මතු යම්කිසි තැනක ඒ පළමුවන සිත පහළ වීම ම සත්ත්වයා ඒ භවයට පැමිණීම ය. උපන් පසු ඔහුට හොඳ රූප දැකීම්, හොඳ හොඳ ශබ්ද ඇසීම් ආදි වශයෙන් කාමාවචර කුශලයේ විපාක වශයෙන් චක්ඛු විඤ්ඤාණාදි අහේතුක කුශල විපාක සිත් ඇති වේ.

සහේතුක කාමාවචර ක්‍රියා සිත් අට

සම්පූර්ණ තණ්හාව නැති කළා වූ, මතු කිසි කලෙක සසර නූපදින්නා වූ රහතුන්ට පින් පව් නැත. එහෙත් රහත්හු ද ලෝකයෙහි “පින්” යයි සම්මත වූ පිදිය යුත්තන් පිදීම්, දහම් දෙසීම්, දහම් ඇසීම් ආදි සත් ක්‍රියා කෙරෙති. ඒවා කිරීම් වශයෙන් රහතුන් කෙරෙහි ඇති වන සිත් කාමාවචර කුශල චිත්තයන්ට සමාන වතුදු කුශලයෙහි සේ මතු විපාක ඉපදවීමේ ශක්තියක් ඒවායේ නැත. එබැවින් ඒවා කුශල් නො වේ. රහතුන් ගේ සන්තානයෙහි ඇති වන ඒ සිත්වලට ඒ ඒ ක්‍රියා සිදුකිරීම් මාත්‍ර‍ය පමණක් ඇති බැවින් “ක්‍රියා සිත්” යයි කියනු ලැබේ. සහේතුක කාමාවචර ක්‍රියා සිත් ද කාමාවචර කුශල සේ ම අටෙකි.

  1. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිතය
  2. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිතය
  3. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිතය
  4. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිතය
  5. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිතය
  6. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිතය
  7. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිතය
  8. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිතය

යන මේ අට සහේතුක කාමාවචර ක්‍රියා සිත් ය.

කාමාවචර කුසල් සිත් අට ය, සහේතුක කාමාවචර විපාක සිත් අට ය, සහේතුක කාමාවචර ක්‍රියා සිත් අට යයි කාමාවචර සෝභන සිත් (24) සූවිස්සෙකි. එහි සෝමනස්ස සහගත සිත් දොළොසෙකි. උපේක්ෂා සහගත සිත් දොළොසෙකි. ඥාන සම්ප්‍ර‍යුක්ත සිත් දොළොසෙකි. ඥාන විප්‍ර‍යුක්ත සිත් දොළොසෙකි. අසඞ්ඛාරික සිත් දොළොසෙකි. සසංස්කාරික සිත් දොළොසෙකි.

අකුසල් සිත් දොළොසය, අහේතුක සිත් අටළොස ය, කාමාවචර සෝභන සිත් සූවිස්ස යයි කාමාවචර සිත් (54) සූපනසෙකි.

කාම සිත් සූපනසෙහි අකුසල් දොළොසෙකි. කුසල් අටෙකි. විපාක තෙවිස්සෙකි. ක්‍රියා එකොළොසෙකි.

  1. සෝමනස්ස සහගත සිත් - 18
  2. උපේක්ෂා සහගත සිත් - 32
  3. දෝමනස්ස සහගත සිත් - 2
  4. සුඛ සහගත් සිත් - 1
  5. දුක්ඛ සහගත සිත් - 1
  6. අසඞ්ඛාරික සිත් - 37
  7. සසඞ්ඛාරික සිත් - 17

මේ සිත් ගණන මතක තබා ගන්න. මතක තබා නොගත හොත් ඉදිරියට කරදර විය හැකි ය.

ප්‍ර‍ශ්න

  1. සහේතුක කාමාවචර විපාක අටවැදෑරුම් වන්නේ කෙසේ ද?
  2. කාමාවචර කුසලයෙන් ඇති කරන්නේ සහේතුක කාමාවචර විපාක අට පමණක් ද?
  3. කාමාවචර කුශලයෙන් ඇති කරන විපාක සම්පූර්ණයෙන් කොතෙක් ද?
  4. සහේතුක කාමාවචර ක්‍රියාවලත් කාමාවචර කුශලයේත් වෙනස කවරේ ද?
  5. කාමාවචර සිත් සිව් පනස වේදනා භේදයෙන් බෙදනු.

14. රූපාවචර සිත් පසළොස

රූපාවචර - අරූපාවචර - ලෝකෝත්තර සිත් තුන් වර්ගය පොදු ජනයාට ඇති නො වන, පෙර පින් හා මහා වීර්‍ය්‍ය ඇති, කාමාශාවන් බැහැර කළ, උසස් පුද්ගලයන් ටික දෙනකුට පමණක් ඇති වන, විශේෂ සිත් කොටසෙකි. පොදු ජනයාට ඇති වන්නේ කාම සිත් පමණකි. ඒවායින් ද, හසිතුප්පාදය හා මහා ක්‍රියා සිත් අට ඔවුනට ඇති නො වේ.

රූපාවචරාදි සිත්වලට “ධ්‍යාන සිත් ය” යි කියනු ලැබේ. ඒවා කාමාවචර සිත්වලට වඩා බොහෝ වෙනස් ය. උසස් ය. බලවත් ය. සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය කළ හැකි වන්නේ ඒ සිත්වල බලයෙන් ය.

රූපාවචර චිත්තය: කුශල - විපාක - ක්‍රියා වශයෙන් තුන් කොටසකට බෙදේ. ඒ එක් එක් කොටසක් නැවත ධ්‍යානයන් ගේ වශයෙන් පසට පසට බෙදේ. එසේ වීමෙන් රූපාවචර සිත් පසළොසක් වේ.

කාමාවචර සිත් වලට ශක්තිය ඇත්තේ අරමුණ යන්තමට ගැනීමට ය. අරමුණ හොඳින් ගත හැකි (දත හැකි) ශක්තිය ඇත්තේ ධ්‍යාන සිත් වලට ය. ධ්‍යාන සිත් තමන් විසින් ගන්නා කසිණාදි ආරම්මණය බදා ගන්නාක් මෙන් ඉතා හොඳින් ද, තදින් ද, ගන්නේ ය. ධ්‍යාන සිතට එසේ කළ හැකි වන්නේ ධ්‍යානයේ බලයෙනි.

ප්‍ර‍ථම ධ්‍යානය - ද්විතීය ධ්‍යානය - තෘතීය ධ්‍යානය - චතුර්ථ ධ්‍යානය - පඤ්චම ධ්‍යානය කියා ධ්‍යාන පසක් ඇත්තේ ය. ඒවා චෛතසික ධර්ම සමූහයෝ ය. ප්‍ර‍ධාන ධ්‍යානාඞ්ගය බලවත් වූ ඒකාග්‍ර‍තාව ය. පොදු ජනයා ගේ සිතෙහි ද දුබල ඒකාග්‍ර‍තාවක් ඇත්තේ ය. එය එක අරමුණක සිත බොහෝ වේලාවක් පැවැත්වීමට සමත් නො වේ. ධ්‍යාන ඒකාග්‍ර‍තාව වනාහි බොහෝ වේලාවක් එක අරමුණක සිත පැවැත්වීමට සමත් වේ. ධ්‍යාන ලාභීන්ට පැය ගණනක් වුව ද දවස මුළුල්ලෙහි ම වුව ද තමන් ගේ සිත එක අරමුණේ ම පැවැත්විය හැකි ය.

ඒකාග්‍ර‍තාවට හෙවත් සමාධියට “විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, උපේක්ෂාව ය” යි උපකාරක ධර්ම පසක් ඇත්තේ ය. සමාධි චිත්තයට පසු බසින්නට හැකිලෙන්නට නො දී විතර්කය යෝගාවචරයා ගේ සිත නැවත නැවත අරමුණට යවයි. විචාරය අරමුණ පිරිමදී. සිත ප්‍රබෝධ කරයි. සුඛයෙන් ආස්වාදය ඇති කරයි. විතර්කාදී ධර්ම සතරේ උපකාරයෙන් සමාධිය බලවත් වී ප්‍ර‍ථම ධ්‍යානය සෑදේ. අන්‍යොන්‍ය සම්බන්ධයෙන් යුක්ත වන විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා යන ධර්ම පස ප්‍රථම ධ්‍යානය ය.

ප්‍ර‍ථම ධ්‍යානය ලැබූ තැනැත්තා ඉදිරියට ද භාවනාවෙහි යෙදෙන කල්හි විතර්කයෙන් තොරව පැවැත්විය හැකි තත්ත්වයට සමාධිය දියුණු වේ. එකල්හි ඔහුට විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍ර‍තා යන චතුරඞ්ගයෙන් යුක්ත ද්විතීය ධ්‍යානය පහළ වේ. යෝගාවචරයා නැවත භාවනා කරන කල්හි ක්‍ර‍මයෙන් සමාධිය දියුණු වී ප්‍රීති, සුඛ, ඒකාග්‍ර‍තා යන අඞ්ග තුනෙන් යුක්ත වන තෘතීය ධ්‍යානය ද, සුඛ ඒකාග්‍ර‍තා යන අඞ්ග දෙකින් යුක්ත වන චතුර්ථ ධ්‍යානය ද උපේක්ෂා, ඒකාග්‍ර‍තා යන අඞ්ග දෙකින් යුක්ත වන පඤ්චම ධ්‍යානය ද ඇති වේ. ධ්‍යානයෙන් යුක්ත වන සිත්වලට ‘ධ්‍යාන සිත්ය’ යි කියනු ලැබේ.

රූපාවචර කුසල් සිත් පස

  1. විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා සහිත ප්‍ර‍ථම ධ්‍යාන සිතය
  2. විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා සහිත ද්විතීය ධ්‍යාන සිතය
  3. ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා සහිත තෘතීය ධ්‍යාන සිතය
  4. සුඛ ඒකාග්‍ර‍තා සහිත චතුර්ථ ධ්‍යාන සිතය
  5. උපේක්ෂා ඒකාග්‍ර‍තා සහිත පඤ්චම ධ්‍යාන සිතය

යි රූපාවචර කුසල් සිත් පසෙක් වේ.

රූපාවචර විපාක සිත්

රූපාවචර ධ්‍යාන උපදවා ගත් තැනැත්තා ධ්‍යානයෙන් නො පිරිහී කලුරිය කළ හොත් වැරදීමක් නැති ව බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදින්නේ ය. මරණයට අනතුරුව ම ඔහුට ඔහු ගේ රූපාවචර කුශලයේ ආනුභාවයෙන් බ්‍ර‍හ්ම ලෝකයෙහි රූපාවචර ධ්‍යාන චිත්තයක් පහළ වේ. ඒ සිත එහි පහළ වීම බ්‍ර‍හ්ම ලෝකයේ ඉපදීම ය. රූපාවචර කුශල ධ්‍යානයෙන් උපදවා ගත් අයට මරණින් මතු ඒ කුශල ධ්‍යාන චිත්තයන් ගේ ආනුභාවයෙන් බ්‍ර‍හ්ම ලෝකයේදී උපදනා ධ්‍යාන සිත් රූපාවචර විපාක සිත් ය. එක් එක් කුශල ධ්‍යාන සිතකට විපාක සිත් ද එක බැගින් ඇති බැවින් විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා සහිත ප්‍ර‍ථම ධ්‍යාන චිත්තය යනාදි වශයෙන් රූපාවචර විපාක සිත් ද පසක් ඇත්තේ ය.

රූපාවචර ක්‍රියා සිත්

ධ්‍යාන සුවයෙන් විසිය හැකි වනු පිණිස ද, සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමේ බලය ලබනු පිණිස ද, රහත්හු ද සමහර විට ධ්‍යාන උපදවති. එසේ රහතුන් විසින් උපදවන රූපාවචර ධ්‍යාන සිත්වල, මතු විපාක ඇති කිරීමේ ශක්තිය නැති බැවින් රූපාවචර ක්‍රියා නම් වෙයි. රූපාවචර ක්‍රියා සිත් ද විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා සහිත ප්‍ර‍ථම ධ්‍යාන සිත ය යනාදීන් කුසලය සේ ම පසෙක් වේ.

“කුසල් සිත් පස ය, විපාක සිත් පස ය, ක්‍රියා සිත් පස යයි රූපාවචර සිත් පසළොසෙකි.

මේ ධ්‍යාන සිත්වල සුඛ වන වචනයෙන් කියැවෙන්නේ සෝමනස්සය ම ය. උපේක්ෂා යනුවෙන් කියැවෙන්නේ උපේක්ෂා වේදනාව ය. මේ සිත්වල ප්‍ර‍ථම - ද්විතීය - තෘතීය - චතුර්ථ ධ්‍යාන චිත්තයෝ සෝමනස්ස සහගත සිත් ය. රූපාවචර සිත් පසළොසෙහි ප්‍ර‍ථමාදි ධ්‍යාන සිත් තුන බැගින් ඇත්තේ ය. සෝමනස්ස සහගත සිත් දොළොසක් ඇත්තේ ය. උපේක්ෂා සහගත සිත් තුනක් ඇත්තේ ය.

රූපාවචර - අරූපාවචර - ලෝකෝත්තර සිත්වල අසඞ්ඛාරික සසඞ්ඛාරික භාවය විචාරණයෙන් අභිධර්මය උගෙනීමේ දී ලැබෙන විශේෂ ප්‍රයෝජනයක් නැත. ස්වරූප බෙදීමේදී සිත් ගණන් ගැනීමේ පහසුව සඳහා ඒවා සසංස්කාරික සිත්වලට ගණන් ගනිති.

ප්‍ර‍ශ්න

  1. රූපාවචර සිත් කාට ඇති වන ඒවා ද?
  2. රූපාවචරාදි සිත් තුන කොටසට පොදු නම කුමක් ද?
  3. රූපාවචර චිත්තය පසළොස් වැදෑරුම් වන්නේ කෙසේ බෙදීමෙන් ද?
  4. ධ්‍යාන කොතෙක් ද?
  5. ධ්‍යාන සිතේ හා කාමාවචර සිතේ වෙනස කවරේ ද?
  6. ප්‍ර‍ධාන ධ්‍යානාඞ්ගය කුමක් ද?
  7. විපාක දීමේදී රූපාවචර කුශලයේ හා කාමාවචර කුශලයේ වෙනස කුමක් ද?
  8. රූපාවචර විපාක චිත්තය යනු කුමක් ද?
  9. රූපාවචර ක්‍රියා සිත් කෙබඳු සිත් කොටසක් ද?
  10. රූපාවචර සෝමනස්ස සහගත සිත් කොතෙක් ද?
  11. උපේක්ෂා සහගත සිත් කොතෙක් ද?

15. අරූපාවචර සිත් දොළොස

රූපයන් ගෙන් ඈත් කොට වඩා ශාන්ත බවට ප්‍ර‍ණීත බවට පත් කරන ලද පඤ්චම ධ්‍යාන චිත්තය “අරූපාවචර චිත්තය” යි කියනු ලැබේ. එය ද රූපාවචර චිත්තය සේ ම කුශල - විපාක - ක්‍රියා වශයෙන් තුනට බෙදෙන්නේ ය.

අරූපාවචර කුසල් සිත් සතර

  1. ආකාසානඤ්චායතන කුසල් සිත ය
  2. විඤ්ඤාණඤ්චායතන කුසල් සිත ය
  3. ආකිඤ්චඤ්ඤායතන කුසල් සිත ය
  4. නේවසඤ්ඤා නාසඤ්ඤායතන කුසල් සිත ය

කියා ආරම්මණ භේදයෙන් අරූපාවචර කුසල් සිත් සතරක් වේ. ආරම්මණයන් ගේ වශයෙන් භේදයට පැමිණෙන්නා වූ එක ම සිත මේ අරූපාවචර සිත ය. අරූපාවචර සිත් උපදවා ගත හැක්කේ රූපාවචර පඤ්චමධ්‍යානය උපදවා ගත් අයට පමණි. රූපාවචර පඤ්චමධ්‍යානය ලබා ගත් අය ගෙන් ඇතැමෙක් රූප - කය පරිහරණය කිරීමේ කරදරය දැක, රූප - කය නිසා ම සත්ත්වයන්ට බොහෝ දුක් ඇති වන බව දැක රූප - කය කෙරෙහි කලකිරී, අරූපී ආත්ම භාවයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් අරූප ධ්‍යාන උපදවති.

අරූප ධ්‍යාන උපදවන්නේ මෙසේ ය:- රූපාවචර පඤ්චමධ්‍යානලාභියා ආකාස කසිණයෙන් අන්‍ය වූ කසිණයක් අරමුණු කරන පඤ්චම ධ්‍යාන චිත්තයෙන් මඳ වෙලාවක් හිඳ, තමා ගේ ධ්‍යාන චිත්තය රූප නිමිත්තයෙන් බැහැර කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ධ්‍යාන චිත්තයේ අරමුණ වූ කසිණ නිමිත්ත දෙස සිතින් බලා ගෙන, එය රූපයක් සේ නො සිතා, ආකාශය ය කියා සිතන්නට හෙවත් භාවනා කරන්නට පටන් ගනී. එසේ භාවනා කරන කල්හි රූප කසිණ නිමිත්ත නැති වී, පළමු කසිණ නිමිත්ත පෙනුණු තැන ආකාශය පෙනෙන්නට වේ. කසිණයෙන් ගන්නා ලද්දක් නිසා ඒ පෙනෙන ආකාශයට “කසිණුග්ඝාටිමාකාසය” යි කියනු ලැබේ. ඉදිරියට “ආකාශය - ආකාශය” කියා භාවනා කරන කල්හි කලින් රූප නිමිත්තක පැවැති රූපාවචර පඤ්චම ධ්‍යානය ඒ ආකාශය අරමුණු කොට නැවත උපදී. එසේ උපදවා ගැනීම රූපාවචර පඤ්චම ධ්‍යානය රූප නිමිත්තයෙන් බැහැර කර ගැනීම ය. රූප නිමිත්තයෙන් බැහැර කර ගන්නා ලද ඒ පඤ්චම ධ්‍යාන සිත, පළමු වන අරූපාවචර සිත ය.

ඒ සිතට අරමුණු වන ආකාශය යෝගාවචරයා ගේ සිතට පමණක් ඇති සැටියට දැනෙනවා මිස ඇත්තට ම ඇති දෙයක් නො වේ. එය ප්‍ර‍ඥප්තියකි. සත්‍ය වශයෙන් නැත්තා වූ ඒ ආකාශයට පළමුවෙන් ඇති වීම වූ මුල් කොන ද නැත්තේ ය. නැති වී යෑම වූ අන්තිම කොන ද නැත්තේ ය. එබැවින් එයට අනන්තාකාශ යයි කියනු ලැබේ. අනන්තාකාශය අරමුණු කරන ධ්‍යානයෙන් යුක්ත වන බැවින් පළමු වන අරූපාවචර කුසල් සිතට “ආකාසානඤ්චායතන කුසල් සිත ය” යන නම දී තිබේ.

ආකාසානඤ්චායතන කුසල් සිතය යන්නෙහි තේරුම, අනන්තාකාසය අරමුණු කොට පවත්නා කුසල් සිත ය යනු යි.

ආකාසානඤ්චායතන ධ්‍යානය ලැබූ යෝගාවචරයා තමා ගේ ධ්‍යානය තවත් රූප නිමිත්තයෙන් ඈත් කරනු පිණිස, පළමුවන අරූපාවචර චිත්තයේ අරමුණු වන ආකාශය හැර දමා, ඒ සිත පමණක් ගෙන, එය අරමුණු කරමින් “විඤ්ඤාණය, විඤ්ඤාණය” කියා භාවනා කරන්නට පටන් ගනී. එසේ කරන කල්හි පළමු වන අරූප චිත්තය අරමුණු කරන, විඤ්ඤාණඤ්චායතන කුශල චිත්තය ඔහුට උපදී.

විඤ්ඤාණඤ්චායතන කුසල් සිත ය යන්නෙහි තේරුම, විඤ්ඤාණය අරමුණු කොට පවත්නා ධ්‍යානයෙන් යුක්ත සිත ය යනුයි.

ධ්‍යාන ලැබූ අයට වුව ද ධ්‍යාන චිත්තය නිතර ඇත්තේ නො වේ. අන් සිතකින් වෙසෙන අවස්ථාවලදී ධ්‍යාන චිත්තය නැත. දෙවන අරූප ධ්‍යානය ලැබූ යෝගාවචරයා තුන් වන අරූප ධ්‍යානය ලැබීම සඳහා පළමු වන අරූප ධ්‍යාන චිත්තයේ නැති බව මෙනෙහි කිරීම් වශයෙන් “නත්ථි කිඤ්චි - නත්ථි කිඤ්චි” යි භාවනා කරයි. එසේ කරන කල්හි පළමු වන අරූපාවචර චිත්තයේ නැති බව අරමුණු කෙරෙමින් තුන් වන අරූපධයාන චිත්තය වූ ආකිඤ්චඤ්ඤායතන කුශල චිත්තය උපදී.

ආකිඤ්චඤ්ඤායතන කුසල් සිත ය යන්නෙහි තේරුම පළමු වන අරූපාවචර චිත්තයා ගේ නැති බව අරමුණු කරන ධ්‍යානයෙන් යුක්ත සිත ය යනුයි.

තුන් වන අරූපධ්‍යානය ලැබූ යෝගාවචරයා, සතර වන අරූප ධ්‍යානය ලබනු පිණිස, තමා ලබා සිටින තුන් වන අරූප ධ්‍යාන චිත්තය ගෙන, “මෙය ශාන්තය - මෙය ප්‍ර‍ණීතය” කියා භාවනා කරන්නට පටන් ගනී. ඒ භාවනාවෙන් තුන් වන අරූප ධ්‍යාන චිත්තය අරමුණු කොට, සතර වන අරූප ධ්‍යාන චිත්තය උපදී. එය සියුම් කමින් අග තැන් පත් සිත ය. එයට වඩා සියුම් තවත් සිතක් නැත්තේ ය. එහි සියුම් කම කොතරම් ද කියත හොත්, ඒ සිතින් යුක්ත ව වෙසෙන යෝගාවචරයා හට “සිතක් ඇතුව විසුවා ද, සිතින් තොරව ම විසුවා ද” කියා දැන ගැනීමටත් අපහසු තරම් ය. ඉතා සියුම් බැවින් ඒ සතර වන අරූපධ්‍යාන චිත්තයට නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල් සිත” යි කියනු ලැබේ.

නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල් සිත යන්නෙහි තේරුම, සංඥාවක් ඇත්තේත් නැති, නැත්තේත් නැති තරමට සියුම් වූ කුසල් සිත ය යනුයි.

ප්‍ර‍ශ්න

  1. “අරූපාවචර චිත්තය” යි කියනුයේ කෙබඳු සිතකට ද?
  2. අරූපාවචර චිත්තය ප්‍රභේදයට පැමිණෙන්නේ කුමකින් ද?
  3. අරූපාවචර සිත් සතරේ අරමුණු කවරේ ද?

16. අරූපාවචර විපාක, ක්‍රියා

අරූප ධ්‍යානලාභී පුද්ගලයා මරණින් මතු ඒ කුශලයේ බලයෙන් අරූප ලෝකයෙහි උපදින්නේ ය. අරූප භවයෙහි ඉපදීම් වශයෙන් ද ඒ අරූප භවය නො සිඳී පැවැත්මට ද අරූප කුශලයට සමාන වූ ම ධ්‍යාන සිත් ඇති වේ. ඒවා අරූපාවචර විපාකයෝ ය.

  1. ආකාසානඤ්චායතන විපාක සිතය
  2. විඤ්ඤාණඤ්චායතන විපාක සිතය
  3. ආකිඤ්චඤ්ඤායතන විපාක සිතය
  4. නේවසඤ්ඤානාසඤ්ඤායතන විපාක සිතය

කියා අරූපාවචර විපාක සිත් ද සතරෙකි.

කාම - රූප ලෝක දෙක්හි සත්ත්වයන් ගේ විඤ්ඤාණය පවත්නේ රූප - කය ඇසුරු කර ගෙන ය. රූප - කයක් නැති ව පැවතීමට ඒවාට ශක්තියක් නැත. අරූපාවචර විපාක වනාහි රූපයෙන් තොරව පැවතිය හැකි වන පරිදි දියුණු වූ ඒවා ය. එබැවින් අරූප ප්‍ර‍තිසන්ධි චිත්තය සමග රූප - කයක් ඇති නො වේ. විඤ්ඤාණයෙන් ඔවුහු ඉතා දීර්ඝ කාලයක් ජීවත් වෙති. කාම සත්ත්වයනට රූප - කයක් පරිහරණය කිරීම නිසා ඉමක් කොනක් නැති තරමට දුක් විඳින්නට සිදු වේ. අරූපී සත්ත්වයාට ඒ එකදුකකුදු නැත. නිවන් සැපයට බොහෝ දුරට සමාන සැපයක් අරූපී සත්ත්වයනට ඇත්තේ ය. කාම සත්ත්වයනට ඇත්තේ පිටස්තර දේවලින් ඉන්ද්‍රිය පිනවා ගෙන ලබන සැපයෙකි. අරූපී සත්ත්වයන් ගේ සැපයට පිටතින් කිසිවක් වුවමනා නැත. කාම සත්ත්වයන් ගේ ආත්ම භාවය බතක් වැනි ය. තවත් දේ එකතු කර නො ගත හොත් එහි රසයක් නැත. අරූපී ආත්ම භාවය කේක් කැබැල්ලක් වැනි ය. එය රසවත් කිරීමට තවත් දෙයක් එකතු කරන්නට ඕනෑ නැත. අරූපී සත්ත්වයා ගේ ඒ ජීවිතය ම ඔහුට සුවයෙකි.

අනාගාමී, අර්හත් පුද්ගලයන්ට පමණක් අයිති නිරෝධ සමාපත්ති නම් වූ සමවතක් ඇත්තේ ය. එය සිතින් තොරව විසීමෙකි. එයට සමවැදිය හැක්කේ රූපාරූප ධ්‍යාන සියල්ල ම ලබා ඇති අනාගාමීන්ට හා රහතුන්ට ය. නිරෝධ සමාපත්තියට සම වැදිය හැකි වීමට රහත්හු ද අරූප ධ්‍යාන උපදවති. රහතුන් විසින් උපදවන විපාකදාන ශක්තිය නැත්තා වූ අරූප ධ්‍යාන සිත් අරූපාවචර ක්‍රියා සිත් ය. ආකාසානඤ්චායතන ක්‍රියා සිත යනාදි වශයෙන් අරූපාවචර ක්‍රියා සිත් ද සතරෙකි.

කුසල් සිත් සතර ය, විපාක සිත් සතරය, ක්‍රියා සිත් සතර යයි අරූපාවචර සිත් දොළොසකි. ඒ සියල්ල ම පඤ්චමධ්‍යාන සිත් ය. වේදනා භේදයෙන් උපේක්ෂා සහගත සිත් ය. පඤ්චමධ්‍යාන භාවයෙන් අරූපාවචර සිත් එකිනෙකට සමාන වුව ද, යට යට අරූපධ්‍යාන සිත්වලට වඩා මතු මතු අරූපධ්‍යාන සිත් ප්‍ර‍ණීත ය; උසස් ය.

පොදු ජනයාට අයත් නො වන, උසස් අයට ම අයත් වන උසස් පුද්ගලයන් විසින් ම උපදවනු ලබන, පවත්වනු ලබන, සිත් කොටසක් බැවින් රූපාවචර අරූපාවචර සිත්වලට මහග්ගත සිත් ය යන නාමය ද කියනු ලැබේ. මහග්ගත සිත් (27) සත් විස්සකි.

මහග්ගත සිත්වල කුසල් නවයෙකි. විපාක නවයෙකි. ක්‍රියා නවයෙකි. ප්‍ර‍ථම ධ්‍යාන සිත් තුනෙකි. ද්විතීය ධ්‍යාන - තෘතීය ධ්‍යාන - චතුර්ථ ධ්‍යාන සිත් ද තුන බැගින් ඇත්තේ ය. පඤ්චම ධ්‍යාන සිත් පසළොසෙකි. මහග්ගතයෙහි සෝමනස්ස සහගත සිත් දොළොසෙකි. උපේක්ෂා සහගත සිත් පසළොසෙකි.

කාමාවචර සිත් (54) සිවු පනසය, රූපාවචර සිත් (15) පසළොසය, අරූපාවචර සිත් (12) දොළොස ය යන මේ සිත් (81) එක් අසූවට “ලෞකික සිත් ය” යි කියනු ලැබේ. ලෞකික කුසල් සිත් (17) සතළොසෙකි. ලෞකික විපාක සිත් (32) දෙතිසෙකි. ක්‍රියා සිත් (20) විස්සෙකි.

ලෞකික සිත් එක් අසූවෙහි සෝමනස්ස සහගත සිත් (31) එක් තිසකි. උපේක්ෂා සහගත සිත් (47) සත් සාළිසෙකි. දෝමනස්ස සහගත සිත් (3) තුනෙකි. (මේ ගණන කියන ලද්දේ සුඛ සහගත කාය විඤ්ඤාණය සෝමනස්ස වලටත්, දුඃඛ සහගත කාය විඤ්ඤාණය දෝමනස්සවලටත් ඇතුළු කොට ය).

ප්‍ර‍ශ්න

  1. “අරූපාවචර විපාකය” යි කියනුයේ කෙබඳු සිත් වලට ද?
  2. රූප කයක් නැති ව සිත් පැවතිය හැක්කේ කෙසේ ද?
  3. රූපයක් නැති ආත්ම භාවය හොඳ වන්නේ මක් නිසා ද?
  4. මතු ඉපදීමක් නැති රහතුන් අරූප ධ්‍යාන උපදවන්නේ කුමට ද?
  5. රූපාවචර අරූපාවචර සිත් දෙකොටසට ම සාධාරණ නම කුමක් ද?
  6. ලෞකික කුසල් කොතෙක් ද? කවරහු ද?
  7. ලෞකික විපාක කොතෙක් ද? කවරහු ද?
  8. ක්‍රියා සිත් කොතෙක් ද? කවරහු ද?

17. ලෝකෝත්තර සිත් අට

සම්මාදිට්ඨි - සම්මාසඞ්කප්ප - සම්මාවාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව - සම්මා වායාම - සම්මා සති - සම්මා සමාධි යන මේ චෛතසික ධර්ම අටට ‘ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්ගය’ යි කියනු ලැබේ. සංසාර සඞ්ඛ්‍යාත ලෝකයෙන් එතර වනු රිසියෙන් විදර්ශනා භාවනාවෙහි යෙදෙන යෝගාවචරයා ගේ සන්තානයෙහි ඒ ධර්මයෝ ක්‍ර‍මයෙන් දියුණු වෙති. යෝගාවචරයාහට නිවන ප්‍ර‍ත්‍යක්ෂ කරවිය හැකි තරමට, මතු කවර කලෙකවත් ඇති නොවන ලෙස, කෙලෙසුන් නැසිය හැකි තරමට දියුණු වූ අෂ්ටාඞ්ගික මාර්ගය, සත්ත්වයා ලෝකයෙන් එතෙර කොට නිවනට පමුණුවන බැවින් ‘ලෝකෝත්තර මාර්ගයෙන් යුක්ත වන සිතට “ලෝකෝත්තර මාර්ගය” යි කියනු ලැබේ. ඒ ලෝකෝත්තර මාර්ගයෙන් යුක්ත වන සිතට ‘ලෝකෝත්තර සිත ය’ යි කියනු ලැබේ.

එක් පුද්ගලයකු ගේ සන්තානයෙහි ලෝකෝත්තර මාර්ගය එකිනෙකට වඩ වඩා බලවත් ව සතර වාරයක් ඇති වේ. පළමු වන වර ඇති වන ලෝකෝත්තර මාර්ගයට ‘සෝතාපත්ති මග්ග’ කියා ද, දෙවන වර ඇති වන ලෝකෝත්තර මාර්ගයට ‘සකදාගාමි මග්ග’ කියා ද, තුන් වන වර ඇති වන ලෝකෝත්තර මාර්ගයට “අනාගාමි මග්ග” කියා ද, සතර වන වර ඇති වන ලෝකෝත්තර මාර්ගයට “අරහත්ත මග්ග” කියා ද, නම් කර තිබේ. සතර වරක ඇති වන ලෝකෝත්තර මාර්ගයන් අනුව -

  1. සෝතාපත්ති මග්ග චිත්තය
  2. සකදාගාමි මග්ග චිත්තය
  3. අනාගාමි මග්ග චිත්තය
  4. අරහත්ත මග්ග චිත්තය

කියා ලෝකෝත්තර කුසල් සිත් සතරක් වේ.

ලෝකෝත්තර විපාකවලට බොහෝ සෙයින් ව්‍යවහාර වී ඇත්තේ “විපාක” යන නාමය නො ව “ඵල” යන නාමය ය. විපාක ඵල යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත්තේ ය. ලෝකෝත්තර කුශලය වනාහි ලෞකික කුශලයන් මෙන් කල් පසු කොට, තමා ගේ විපාකය ඇති කරන්නක් නොව එකෙණෙහි ම විපාකය ඇති කරන කුශලයෙකි.

  1. සෝතාපත්ති ඵල චිත්තය
  2. සකදාගාමි ඵල චිත්තය
  3. අනාගාමි ඵල චිත්තය
  4. අරහත්ත ඵල චිත්තය

කියා ලෝකෝත්තර විපාක සිත් ද සතරක් වේ. ලෝකෝත්තර ක්‍රියා සිත් නැත්තේ ය. කුසල් සිත් සතරක් හා විපාක සිත් සතරක් වීමෙන් ලෝකෝත්තරසිත් අටක් වේ. ලෝකෝත්තර ක්‍රියා සිත් නැත්තේ එක් එක් මාර්ග සිතක් එක් පුද්ගලයකු තුළ එක වරකට වඩා ඇති නොවන බැවිනි. මාර්ග චිත්තය පළමු වන වර ඇති වීමේදී ම ඒ ඒ මාර්ග චිත්තයේ ශක්ති ප්‍ර‍මාණයෙන් ක්ලේශ ප්‍ර‍හාණයක් සිදු වේ. මාර්ග චිත්තයන් නැවත නැවත ඇති නො වන්නේ ප්‍ර‍හීණ ක්ලේශයෙහි නැවත ප්‍ර‍හාණයක් කරන්නට දෙයක් නැති බැවිනි.

කාමාවචර සිත් (54) සිවු පනසක් ද, රූපාවචර සිත් (15) පසළොසක් ද, අරූපාවචර සිත් (12) දොළොසක් ද, ලෝකෝත්තර සිත් (8) අටක් ද වීමෙන් කෙටි ක්‍ර‍මයෙන් සිත් (89) එකුන් අනූවක් වේ.

එකුන් අනූ චිත්තයෙහි අකුසල් (12) දොළොසක් ද, කුසල් (21) එක් විස්සක් ද, විපාක (36) සතිසක් ද, ක්‍රියා (20) විස්සක් ද ඇත්තේ ය. ඒවා සොයාගත යුතු.

මේ එකුන්අනූ චිත්තය අහේතුක සිත්ය, සහේතුක සිත් ය කියා දෙ කොටසකට ද, ශෝභන සිත් ය අශෝභන සිත් ය. කියා දෙ කොටසකට ද, ලෞකික සිත් ය-ලෝකෝත්තර සිත් ය කියා දෙ කොටසකට ද බෙදෙන්නේ ය. ඒ ඒ කොටස්වලට අයත් සිත්වල ගණන් සොයා ගත යුතු. වේදනාදි භේදවලින් ලෝකෝත්තර සිත් අට නො බෙදිය හැකි ය.

ප්‍ර‍ශ්න

  1. ලෝකෝත්තර මාර්ගය යනු කුමක් ද?
  2. ලෝකෝත්තර සිතය යනු කුමක් ද?
  3. ලෝකෝත්තර සිත භේදයට පැමිණෙන්නේ කවර කරුණු අනුව ද?
  4. ලෝකෝත්තර විපාක සිත්වලට කියන අනික් නම කුමක් ද?
  5. සිත් සියල්ල ම කොපමණ ද?
  6. ශෝභන සිත් හා අශෝභන සිත් කොතෙක් කොතෙක් ඇත්තේ ද?
  7. කුසල් - අකුසල් - විපාක - ක්‍රියා සිත් කොතෙක් කොතෙක් ඇත්තේ ද?

18. ලෝකෝත්තර සිත්වල විස්තාර ක්‍ර‍මය

ප්‍ර‍ථම ධ්‍යානාදි වශයෙන් ධ්‍යාන පසක් ඇති බව ඉහත කියා ඇත. ඒ ධ්‍යාන රූපාවචර සිත්වල පමණක් නො ව ලෝකෝත්තර සිත්වල ද ඇත්තේ ය. එබැවින් “ධ්‍යාන සිත් ය” යන නාමය ලෝකෝත්තර සිත්වලට යෙදෙන්නේ ය. ධ්‍යාන නො ලැබූවන්ට උපදනා ලෝකෝත්තර සිත් සෑම කල්හි ම ප්‍ර‍ථම ධ්‍යානයෙන් යුක්ත ව උපදී. ධ්‍යාන ලැබූවන්ගේ ලෝකෝත්තර සිත් ප්‍ර‍ථමාදි ධ්‍යාන පසින් යුක්ත විය හැකි ය. එබැවින් සංක්ෂේප ක්‍ර‍මයේ දී එකක් වශයෙන් දැක්වුණු සෝතාපත්ති මග්ග චිත්තය ධ්‍යාන භේදයෙන්-

  1. ප්‍ර‍ථම ධ්‍යාන ශ්‍රෝතාපත්ති මාර්ග සිතය
  2. ද්විතීය ධ්‍යාන ශ්‍රෝතාපත්ති මාර්ග සිතය
  3. තෘතීය ධ්‍යාන ශ්‍රෝතාපත්ති මාර්ග සිතය
  4. චතුර්ථ ධ්‍යාන ශ්‍රෝතාපත්ති මාර්ග සිතය
  5. පඤ්චම ධ්‍යාන ශ්‍රෝතාපත්ති මාර්ග සිතය

කියා සිත් පසක් වේ. සකෘදාගාමි - අනාගාමි - අර්හත් මාර්ග සිත් තුන ද එසේ ම පස බැගින් වේ. මෙසේ ධ්‍යාන භේදයෙන් එක් එක් ලෝකෝත්තර කුසල් සිතක් පස බැගින් වන නිසා ලෝකෝත්තර කුසල් සිත් (20) විස්සක් වේ. ඵල සිත් සතර ද එසේ ම ධ්‍යාන වශයෙන් ප්‍රභේදයට පැමිණෙන බැවින් ලෝකෝත්තර විපාක සිත් ද (20) විස්සක් වේ. කුසල් සිත් විස්සක් හා විපාක සිත් විස්සක් වන බැවින් විස්තාර ක්‍ර‍මයෙන් ලෝකෝත්තර සිත් (40) සතළිසක් වේ.

මේ ලෝකෝත්තර සිත් සතළිසෙහි ප්‍ර‍ථම ධ්‍යාන සිත් අටක් ඇත්තේ ය. ද්විතීය ධ්‍යානාදි සිත් ද අට බැගින් ඇත්තේ ය. ප්‍ර‍ථම - ද්විතීය - තෘතීය - චතුර්ථ ධ්‍යාන සිත් සෝමනස්ස සහගත වන බැවින් ලෝකෝත්තර සෝමනස්ස සහගත සිත් දෙතිසක් ඇත්තේ ය. පඤ්චම ධ්‍යාන සිත් උපේක්ෂා සහගත වන බැවින් ලෝකෝත්තර උපේක්ෂා සහගත සිත් අටක් ඇත්තේ ය.

මහද්ගත සිත් (27) සත් විස්ස ය, ලෝකෝත්තර සිත් (40) සතළිස ය යන මේ සිත් (67) සත් සැට ධ්‍යාන සිත් ය. එහි ප්‍ර‍ථම ධ්‍යාන සිත් (11) එකොළොසකි. ද්විතීය තෘතීය - චතුර්ථධ්‍යාන සිත් ද එකොළොස බැගින් ඇත්තේ ය. පඤ්චම ධ්‍යාන සිත් (23) තෙවිස්සකි. ඒ ඒ ධ්‍යානවලට අයත් සිත් සොයා ගනු.

සිත් සියල්ල ගණන් ගැනීමේ දී සංක්ෂේප විස්තාර වශයෙන් ක්‍ර‍ම දෙකකින් දැක්වුණු ලෝකෝත්තර සිත් එක් ක්‍ර‍මයකින් ගණන් ගත යුතු ය. සංක්ෂේප ක්‍ර‍මයෙන් සිත් (89) එකුන් අනූවකි. විස්තාර ක්‍ර‍මයෙන් (121) එකසිය විසි එකකි. ඉදිරියෙහි නොයෙක් තැන්වල දී කරුණු කියැවෙන්නේ සිත්වල විස්තාර ක්‍ර‍මය අනුව ය. ඒ නිසා ඒ ක්‍ර‍මයෙන් චිත්ත විභාගය ප්‍ර‍ගුණ කර ගත යුතු ය.

කාමාවචර සිත් සිවු පනස ය, රූපාවචර සිත් පසළොස ය, අරූපාවචර සිත් දොළොස ය, ලෝකෝත්තර සිත් සතළිස යයි භූමි භේදයෙන් සිත් (121) එක සිය විසි එකකි.

අකුසල් දොළොස ය, කුසල් සිත් තිස ය, විපාක දෙ පනසය, ක්‍රියා විස්ස ය කියා ජාති භේදයෙන් සිත් එක සිය විසි එකකි.

සෝමනස්ස සහගත සිත් සැට තුන ය, උපේක්ෂා සහගත සිත් පස් පනස ය, දෝමනස්ස සහගත සිත් තුන යයි වේදනා භේදයෙන් සිත් එක සිය විසි එකක් වේ. මේ සෑම කොටස්වලට ම අයත් සිත් සොයා ගන්න. සඞ්ඛාර භේදයෙන් සිත් බෙදත හොත් මහද්ගත ලෝකෝත්තර සිත් සසඞ්ඛාරික පක්ෂයට ගණන් ගන්න.

ප්‍ර‍ශ්න

  1. ලෝකෝත්තර සිත් සතළිසක් වන්නේ කුමකින් ද?
  2. රූපාවචර ධ්‍යාන නො ලැබූවන් ගේ ලෝකෝත්තර සිත් කිනම් ධ්‍යානයකින් යුක්ත වෙනවා ද?
  3. ලෝකෝත්තර ප්‍ර‍ථම ධ්‍යානාදි සිත් කීය බැගින් ඇත්තේ ද?
  4. සිත් එක සිය විසි එකේ ප්‍ර‍ථම ධ්‍යානාදි සිත් කීය බැගින් ඇත්තේ ද?
  5. සංක්ෂේප ක්‍ර‍මයෙන් හා විස්තාර ක්‍ර‍මයෙන් කුසල් සිත් කීය බැගින් ඇත්තේ ද?
  6. විපාක සිත් කීය බැගින් ඇත්තේ ද?
  7. සෝමනස්ස සහගත සිත් කොතෙක් ඇත්තේ ද?
  8. උපේක්ෂා සහගත සිත් කොතෙක් ඇත්තේ ද?

19. සිත් එක සිය විසි එක

මේ සිත් එක සිය විසි එක අමතක නො වන සැටියට හොඳින් ප්‍ර‍ගුණ කර ගන්න. මෙය අමතක නම් ඉදිරියට උගෙනීම නො කළ හැකි ය.

අකුසල් සිත්

  1. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසඞ්ඛාරික සිත ය.
  2. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසඞ්ඛාරික සිත ය.
  3. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසඞ්ඛාරික සිත ය.
  4. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසඞ්ඛාරික සිත ය.
  5. උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසඞ්ඛාරික සිත ය.
  6. උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසඞ්ඛාරික සිත ය.
  7. උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසඞ්ඛාරික සිත ය.
  8. උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසඞ්ඛාරික සිත ය.

යන මේ සිත් අට ලෝභ මූල සිත් ය.

  1. දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසඞ්ඛාරික සිත ය
  2. දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසඞ්ඛාරික සිත ය

යන මේ සිත් දෙක දෝස මූල සිත් ය.

  1. උපෙක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත ය
  2. උපෙක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත සිත ය

යන මේ සිත් දෙක මෝහ මූල සිත් ය.

ලෝභ මූල සිත් අට ය. දෝස මූල සිත් දෙක ය, මෝහ මූල සිත් දෙක යයි අකුසල් සිත් දොළොසෙකි.

අහේතුක සිත්

  1. උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය
  2. උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය
  3. උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය
  4. උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය
  5. දුක්ඛ සහගත කාය විඤ්ඤාණය
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය
  7. උපෙක්ඛා සහගත සන්තීරණය

යන මේ සත අකුසල විපාක සිත් ය.

  1. උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය
  2. උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය
  3. උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය
  4. උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය
  5. සුඛ සහගත කාය විඤ්ඤාණය
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය
  7. සෝමනස්ස සහගත සන්තීරණය
  8. උපෙක්ඛා සහගත සන්තීරණය

යන මේ සිත් අට අහේතුක කුසල විපාක සිත් ය.

  1. උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජනය
  2. උපෙක්ඛා සහගත මනොද්වාරාවජ්ජනය
  3. සෝමනස්ස සහගත හසිතුප්පාදය

යන මේ සිත් තුන අහේතුක ක්‍රියා සිත් ය.

අකුශල විපාක සිත් සතය, කුශල විපාක සිත් අටය, ක්‍රියා සිත් තුන ය යි අහේතුක සිත් (18) අටළොසකි.

කාමාවචර ශෝභන සිත්

  1. සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසඞ්ඛාරික සිත ය
  2. සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සසඞ්ඛාරික සිත ය
  3. සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්ත අසඞ්ඛාරික සිත ය
  4. සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්ත සසඞ්ඛාරික සිත ය
  5. උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්ත අසඞ්ඛාරික සිත ය
  6. උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්ත සසඞ්ඛාරික සිත ය
  7. උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්ත අසඞ්ඛාරික සිත ය
  8. උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්ත සසඞ්ඛාරික සිත ය

යන මේ අට කාමාවචර කුසල් සිත් ය.

සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසඞ්ඛාරික සිත ය, යනාදි වශයෙන් සහේතුක කාමාවචර විපාක සිත් ද අටකි.

සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසඞ්ඛාරික සිත ය යනාදීන් සහේතුක කාමාවචර ක්‍රියා සිත් ද අටෙකි.

මෙසේ කාමාවචර ශෝභන සිත් සූවිස්සක් වේ.

රූපාවචර සිත්

  1. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨමජ්ඣාන කුසල චිත්තය
  2. විචාර පීති සුඛ ඒකග්ගතා සහිත දුතියජ්ඣාන කුසල චිත්තය
  3. පීති සුඛ ඒකග්ගතා සහිත තතියජ්ඣාන කුසල චිත්තය
  4. සුඛ ඒකග්ගතා සහිත චතුත්ථජ්ඣාන කුසල චිත්තය
  5. උපෙක්ඛා ඒකග්ගතා සහිත පඤ්චමජ්ඣාන කුසල චිත්තය

යන මේ සිත් පස රූපාවචර කුසල සිත් ය.

විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨමජ්ඣාන විපාක චිත්තය යනාදි වශයෙන් රූපාවචර විපාක සිත් ද පසෙකි.

විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨමජ්ඣාන ක්‍රියා චිත්තය යනාදීන් රූපාවචර ක්‍රියා සිත් ද පසෙකි.

කුසල් සිත් පසය, විපාක සිත් පසය, ක්‍රියා සිත් පසය යි රූපාවචර සිත් පසළොසකි.

අරූපාවචර සිත්

  1. ආකාසානඤ්චායතන කුසල සිත ය
  2. විඤ්ඤාණඤ්චායතන කුසල සිත ය
  3. ආකිඤ්චඤ්ඤායතන කුසල සිත ය.
  4. නේවසඤ්ඤා නාසඤ්ඤායතන කුසල සිතය

කියා අරූපාවචර කුසල් සිත් සතරෙකි.

එසේ ම අරූපාවචර විපාක සිත් සතරක් ද ක්‍රියා සිත් සතරක් ද ඇත්තේ ය. කුසල් සතර ය, විපාක සතර ය, ක්‍රියා සතරය යි අරූපාවචර සිත් දොළොසකි.

ලෝකෝත්තර සිත්

  1. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨමජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය
  2. විචාර පීති සුඛ ඒකග්ගතා සහිත දුතියජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය
  3. පීති සුඛ ඒකග්ගතා සහිත තතියජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය
  4. සුඛ ඒකග්ගතා සහිත චතුත්ථජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය
  5. උපෙක්ඛා ඒකග්ගතා සහිත පඤ්චමජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය

යන මේ සිත් පස සෝතාපත්ති මග්ග චිත්තයෝ ය.

විතක්ක විචාර පීති සුඛ ඒකගත්තා සහිත පඨමජ්ඣාන සකදාගාමි මග්ග චිත්තය යනාදීන් සකෘදාගාමි මාර්ග සිත් ද පසෙකි. එසේ ම අනාගාමි මාර්ග සිත් ද, අර්හත් මාර්ග සිත් ද පස බැගින් වේ.

මෙසේ ලෝකෝත්තර කුසල් සිත් විස්සක් වේ.

විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨමජ්ඣාන සෝතාපත්ති ඵල චිත්තය යනාදීන් ශ්‍රෝතාපත්ති ඵල සිත් පසෙක් ද, සකෘදාගාමි ඵල සිත් පසෙක් ද, අනාගාමි ඵල සිත් පසෙක් ද, අර්හත් ඵල සිත් පසෙක් ද වීමෙන් ලෝකෝත්තර විපාක සිත් විස්සක් වේ.

කුසල් විස්ස ය, විපාක විස්සය යි ලෝකෝත්තර සිත් සතළිසක් වේ.

කාමාවචර සිත් සිවුපනස ය, රූපාවචර සිත් පසළොස ය, අරූපාවචර සිත් දොළොස ය, ලෝකෝත්තර සිත් සතළිස යයි සිත් (121) එකසිය විසි එකකි.

ප්‍ර‍ථම පරිච්ඡේදය නිමි.

2. ද්විතීය පරිච්ඡේදය

1. චෛතසික දෙපනස

මඳකුදු පෙර පසු නො වී සිත හා එකට ඉපදීම ය. එකට ම නිරුද්ධ වීම ය, සිතින් ගන්නා අරමුණ ම ගැනීම ය, සිත උපදනා තැන ම ඉපදීමය යන කරුණු සතරින් සිත හා සම්ප්‍රයෝග වන ධර්මයෝ චෛතසිකයෝ ය.

සම්ප්‍රයෝග වීමය යනු කවර ආකාරයකින් වත් වෙන් කළ නො හෙන පරිදි මිශ්‍ර‍වීම ය. එකට ඉපදීම ආදි කරුණු සතරට “සම්ප්‍රයෝග ලක්ෂණ සතරය” යි කියනු ලැබේ.

චෛතසික දෙපනසක් ඇත්තේ ය. ඒ සියල්ල ම එක සිතක් හා එක වර ම උපදින්නේ නො වේ. එක් එක් සිතක් සමඟ උපදින්නේ ඒ සිතට අයත් කෘත්‍යය සිදුකිරීමට වුවමනා චෛතසික පමණෙකි. ආලෝකය හා අන්ධකාරය මෙන් එකිනෙකට විරුද්ධ චෛතසික ද ඇත්තේ ය. අන්‍යොන්‍ය විරුද්ධ චෛතසිකයෝ කිසි කලෙක එකට නූපදිති. එබැවින් චෛතසික දෙපනසට ම එක් සිතක් හා බැඳී එක වර නූපදිය හැකිය.

එක් සිතක් සමඟ එක වරකට උපදනා වැඩිම චෛතසික ගණන සතිසකි. හත, දහය, එකොළොස, දොළොස යනාදි ගණන් ඇති චෛතසික සමූහයෝ ඒ ඒ සිත් හා උපදිති.

චෛතසිකයන්ගේ සහයෝගය නැති ව සිතකට නූපදිය හැකිය. සිතේ සහයෝගය නැතිව චෛතසිකයකට ද නූපදිය හැකි ය. එබැවින් සිතත්, ඒ සිතින් සිදුකරන කෘත්‍යය සිදු කිරීමට වුවමනා චෛතසික සමූහයත්, පෙර පසු නොවී එක වර ම ඉපදිය යුතු ය. සිත හා එක වරට ම උපදනා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කීයේ එහෙයිනි.

ලීයක අරටුව ඉතිරි වී ඵළය පළමුවෙන් දිරා නැති වී යන්නාක් මෙන්, එක් චිත්ත චෛතසික රාශියකට අයත් ධර්මයන්ගෙන් සමහරක් ඉතිරි වෙද්දී සමහරක් නැති වන්නේ නො වේ. එකක් නිරුද්ධ වෙතොත් එය හා සමඟ ම නිරුද්ධ නොවී අනික් ඒවාට නො පැවතිය හැකිය. එබැවින් සිත හා එක වරම නිරුද්ධ වන බවත් චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී.

අරමුණ ගැනීම සිතට අයත් කෘත්‍යය ය. සිතින් කරන එකම වැඩේ අරමුණ ගැනීම ය. අරමුණෙහි රසය විඳීම, අරමුණට ඇලුම් කිරීම, විරුද්ධවීම යන ආදිය චෛතසිකයන්ට අයත් කෘත්‍යයෝ ය. යම් අරමුණක් ගන්නා සිතක් හා උපදනා චෛතසිකයන් කරන්නේ, ඒ සිතින් ගන්නා ලද අරමුණෙහි රස විඳීම, ඒ අරමුණට ඇලුම් කිරීම, ඒ අරමුණට විරුද්ධව වීම යනාදියය. එබැවින් සිතින් ගන්නා අරමුණ ම ගන්නා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී.

සිත් උපදනා ස්ථාන සයක් ඇත්තේ ය. යම් කිසි ස්ථානයක සිත උපදී නම්, ඒ සිත හා උපදනා චෛතසිකයෝ ද ඒ ස්ථානයෙහි ම ඒ වස්තුව ම ඇසුරු කර ගෙන උපදී. එබැවින් සිත උපදින තැන ම උපදනා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී.

අන්‍යසමාන රාශිය ය - අකුශල රාශිය ය - ශෝභන රාශිය ය කියා චෛතසික රාශි තුනක් ඇත්තේ ය. සර්වචිත්ත සාධාරණ චෛතසික සත ය - ප්‍ර‍කර්ණක චෛතසික සය ය කියා අන්‍යසමාන රාශියට අයත් චෛතසික තෙළෙසකි. අකුසල රාශියට අයත් චෛතසික තුදුසෙකි. ශෝභන සාධාරණ චෛතසික එකුන් විස්ස ය - විරති චෛතසික තුන ය - අප්‍ර‍මාණ්‍ය චෛතසික දෙක ය - ප්‍ර‍ඥා චෛතසික ය යන චෛතසික පස් විස්ස ශෝභන රාශියට අයත් චෛතසිකයෝ ය.

ප්‍ර‍ශ්න

  1. චෛතසිකයන් ගේ සාමාන්‍ය ලක්ෂණ සතර කවරහු ද?
  2. සම්ප්‍රයෝග වීමය යන්නෙහි තේරුම කුමක් ද?
  3. චෛතසික සියල්ල ම එක සිතක නූපදින්නේ කුමක් නිසා ද?
  4. සිතට පෙර පසු වී චෛතසික නූපදිය හැක්කේ මක්නිසා ද?
  5. සිත නිරුද්ධ වීමෙන් පසු චෛතසිකයෝ පවතිත් ද?
  6. සිතට කලින් චෛතසිකයන්ට නිරුද්ධ විය හැකි ද?
  7. චෛතසික කොතෙක් ද?
  8. චෛතසික රාශි තුන කවරහු ද?
  9. ඒ ඒ චෛතසික රාශියට අයත් චෛතසික ගණන දක්වන්න.

2. සර්ව චිත්ත සාධාරණ චෛතසික සත

ඵස්ස ය, වේදනාව ය, සඤ්ඤාව ය, චේතනාව ය, ඒකග්ගතාව ය, ජීවිතින්ද්‍රිය ය, මනසිකාරය යයි සර්ව චිත්ත සාධාරණ චෛතසික සතෙකි.

සෑම සිතක් ම ඇති වීමට මේ චෛතසික සත වුවමනා ය. කුශලාකුශලාදි වශයෙන් විශේෂයක් නො මැති ව සියලු ම සිත්වල යෙදෙන බැවින් මේ චෛතසික සතට “සර්ව චිත්ත සාධාරණය” යි කියනු ලැබේ.

ඵස්ස

අරමුණෙහි සැපෙන ස්වභාවය ඵස්ස නම් වේ. සැපීම ය යනු අතරක් නො සිටින පරිදි ළං වීම ය. එයට ගෑවීම යයි ද කියනු ලැබේ. අඳුරෙහි අත ගාන කෙනකුට දත හැකි වන්නේ අතේ ගෑවුණු දෙයක් පමණෙකි. එමෙන් සිතට දැනෙන්නේ ද සිතෙහි ගෑවුණු දෙය පමණෙකි. එබැවින් සිතක් හෙවත් දැනීමක් ඇති වීමට දතයුත්ත හා සැපීමක් විය යුතුම ය. සැපීමෙන් තොර ව දැනීමක් නො විය හැකි බැවින් මේ “ඵස්ස චෛතසිකය” සියලු ම සිත් වලට වුවමනා අඞ්ගයක් බව දත යුතුය. සිත පිළිබඳ වූ මේ ඵස්සය වස්තු දෙකක් එකට සැපීම බඳු සැපීමක් නොව, සැපීමය යන නාමයෙන් හඳුන්වන එක්තරා සූක්ෂ්ම ස්වභාවයෙකි. තේරුම් ගැනීමට අපහසු චෛතසිකයෙකි.

වේදනා

ආරම්මණයෙහි හොඳ බව වූ හෝ නරක බව වූ හෝ මධ්‍යස්ථ බව වූ හෝ රසය විඳින ස්වභාවය වේදනා නම් වේ. චිත්ත පරිච්ඡේදයේ දී සෝමනස්ස - දෝමනස්ස - උපෙක්ඛා - සුඛ - දුක්ඛ යන නම් වලින් කියවුණේ මේ වේචනා චෛතසිකය ය.

සඤ්ඤා

ආරම්මණයා ගේ ආකාරය ගන්නා ස්වභාවය සඤ්ඤා නම් වේ. ඒ ඒ දෙය අනික් දේවලින් වෙන් කොට හැඳින ගැනීමට උපකාර වන විශේෂ ආකාරයක් සැම දෙයක ම ඇත්තේ ය. අරමුණක් ගැනීම් වශයෙන් සිතක් උපදනා කල්හි ඒ සිත සමඟ අරමුනේ ආකාරය ගන්නා සංඥා චෛතසිකය ද සැම කල්හි ම ඇති වේ. ඒ සංඥා කලින් ඇති වූ සංඥා අනුව ඒ ඒ දෙය හැඳින ගැනීමක් ද, මතුවට හැඳින ගැනීමට සලකුණක් කිරීමක් ද වේ. ආරම්මණයා ගේ ආකාරය ගැනීම හැඳිනීමක් ද වන බැවින් බොහෝ පොත් වල “අරමුණු හැඳින ගන්නා ස්වභාවය සංඥාවය” යි කියා ද තිබේ.

චේතනාව

බැලීම්-ඇසීම්-කෑම්-පීම්-යෑම්-ඊම්-දීම්-ගැනීම් ආදි ක්‍රියා සිදු කිරීමේ උත්සාහය චේතනා නම් වේ. සත්ත්වයන් විසින් සිදු කරන අප්‍ර‍මාණ ක්‍රියා ඇත්තේ ය. ඒ හැම ක්‍රියාවක් ම සිදු කිරීමේ උත්සාහය චේතනා චෛතසිකය ය. ප්‍රාණඝාත චේතනා - අදත්තාදාන චේතනා - දාන චේතනා යනාදීන් අප්‍ර‍මාණ චේතනා ඇත්තේ ය. චේතනා භාවයෙන් ඒ සියල්ල ම චේතනා චෛතසිකය වශයෙන් සලකනු ලැබේ.

යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහය ඇති වන කල්හි එයට අනුකූල ව සිතක් ද ඇති වේ. ඒ ක්‍රියාව සිදු කිරීමට වුවමනා චෛතසික රාශියක් ද, චේතනාව අනුව එය හා බැඳී ඇති වේ. චේතනාව ඒ සියල්ලට ප්‍ර‍ධානය. එබැවින් “චේතනාව සේනාපතියකු වැනි ය” යි ද කියා තිබේ. සැම සිතක් ම ඇති වන්නේ යම් කිසි ක්‍රියාවක් සිදු කිරීම් වශයෙනි. එබැවින් සැම සිතකම චේතනාවක් ඇත්තේ ය. ක්‍රියා සිදු කිරීමේ දී චේතනාව ප්‍ර‍ධාන ය. අරමුණ ගැනීමේ දී සිත ප්‍ර‍ධාන ය. “කර්මය” යි කියනුයේ ද මේ චේතනා චෛතසිකයට ය.

ඒකග්ගතාව

නො සැලෙන පරිදි සිත අරමුණෙහි මනා කොට පිහිටවන ස්වභාවය ඒකග්ගතා නමි. එක අරමුණක වුව ද, ඒ අරමුණ සිතට ගත හැකි, සිතින් සලකා ගත හැකි, නොයෙක් ආකාර ඇත්තේ ය. එක් වස්තුවක් දෙස එක් තැනක සිට බලන කල්හි ඒ වස්තුව එක් ආකාරයකින් පෙනේ. අන් තැනක සිට බලත හොත් ඒ වස්තුව ම තවත් ආකාරයකින් පෙනේ. මෙසේ ස්ථාන සියයක සිට බලත හොත්, එක ම වස්තුව ආකාර සියයකින් පෙනේ. ඒ පෙනෙන සෑම ආකාරයක් ම ඒ වස්තුව සිතින් ගත හැකි ආකාරයෝ ය.

එක් දෙයක් සිතින් ගැනීමේ දී අරමුණෙහි ඇති ඒ අනේකාකාරයන් ගෙන් එක් ආකාරයකින් ඒ අරමුණ ගත යුතු ය. කීප ආකාරයකින් එක වර එක සිතකට එක අරමුණක් ගත නො හැකි ය. සිතට අරමුණ ගත හැකි වීමට අරමුණෙහි ඇති එක් ආකාරයක පිහිටිය යුතු ය. ඒකග්ගතාවෙන් කෙරෙනුයේ අරමුණෙහි යම්කිසි එක් ආකාරයක පිහිටීම ය. ඒ පිහිටීම නිසා සිතට එක් ආකාරයකින් අරමුණ ගතහැකි වන්නේ ය. අරමුණුවල අනේකාකාර ඇති බැවින් ඒකග්ගතාව නැති ව සිතකට අරමුණක් නො ගත හැකිය. එබැවින් ඒකග්ගතාව සෑම සිතකට ම වුවමනා ය. “සමාධිය” යනු ද ඒකග්ගතා චෛතසිකයට කියන තවත් නමෙකි. බොහෝ සෙයින් ඒ නම ව්‍යවහාර වන්නේ දියුණු වූ ඒකග්ගතාවට ය.

ජීවිතින්ද්‍රිය

චිත්ත චෛතසිකයන් ගේ ජීවන බලය - ජීවත් වීමේ ශක්තිය “ජීවිතින්ද්‍රිය” නම් වේ. ශරීරය ආහාර පානයන්ගේ උපස්තම්භනයෙන් චිර කාලයක් ඇද නො වැටී පවතී. සිතේ පැවැත්මට උපකාර වන, පිටතින් ගන්නා දෙයක් නැත. එහෙත් චිත්ත පරම්පරාවේ පැවැත්මට උපකාර වන යම් කිසි දෙයක් ද තිබිය යුතු ය. එබන්දක් නැති ව නිවනට පැමිණීම දක්වා මේ චිත්ත පරම්පරාවට නො සිඳී නො පැවතිය හැකි ය. නිවනට පැමිණීම දක්වා සත්ත්වයා ගේ චිත්ත පරම්පරාව පැවැත්මට උපකාර වන, එය පාලනය කරන දෙය, මේ ජීවිතින්ද්‍රිය චෛතසික ය ය. එයින් කෙරෙන පාලනය නිසා චිත්ත පරම්පරාව මරණයෙනුදු නො සිඳී පරිනිර්වාණය තෙක් පවතී.

මනසිකාරය

සිතට අරමුණෙන් ඉවත් වන්නට නො දී නැවත නැවත අරමුණු ගැනීමෙහි සිත යොදවන ධර්මය මනසිකාර නම් වේ. ප්‍ර‍තිසන්ධියෙහි පටන් ම ක්ෂණයක් පාසා බිඳෙමින් අරමුණෙන් ඉවත් වන චිත්ත පරම්පරාව, මේ චෛතසිකය නිසා නැවත නැවතත් ඉපද ඉපද අරමුණු ගැනීමෙහි යෙදෙන බව කියනු ලැබේ. මෙය තේරුම් ගැනීමට දුෂ්කර අප්‍ර‍කට චෛතසිකයෙකි.

3. ප්‍ර‍කීර්ණක චෛතසික සය

විතක්කය ය, විචාරය ය, අධිමොක්ඛය ය, වීරිය ය, පීතිය ය, ඡන්දය ය කියා ප්‍ර‍කීර්‍ණක චෛතසික සයෙකි.

විතක්කය

අරමුණ කරා යන, අරමුණට නඟින ස්වභාවය විතක්ක නම් වේ. විතර්කය අරමුණට පැමිණෙන කල්හි එය හා උපදනා චිත්ත චෛතසිකයෝ ද එය අනුව අරමුණට පැමිණෙති. එබැවින් චිත්ත චෛතසිකයන් අරමුණට පමුණුවන ධර්මය විතර්කය යි ද කියනු ලැබේ. දුබල විතර්කය අප්‍ර‍කට ය. එය ප්‍ර‍කට වන්නේ ඕනෑ කමින් විතර්ක උපදවන කල්හි ය. කල්පනා කිරීම යයි කියනුයේ එසේ කිරීමට ය. එතෙක් සිත නො පැමිණි තැන්වලට පැමිණ වීමට, නො දත් දේ දැන ගැනීමට කරන උත්සාහයට කල්පනා කිරීම ය” යි කියනු ලැබේ.

විචාරය

විතර්කය පැමිණි අරමුණ පිරිමදින ස්වභාවය විචාරය නම් වේ. මෙහි අදහස් කරන පිරිමැදීම අරමුණෙහි ඇතිල්ලෙන, අරමුණෙහි පැතිරෙන ස්වභාවය ය. විතර්ක බලයෙන් අරමුණට පැමිණියා වූ සිත විචාරයේ බලයෙන් එහි පැතිරේ. ඔබා බලන්නාක් මෙන් කරයි. විතර්ක විචාර දෙකින් විතර්කය ඖදාරිකය. විචාරය සියුම් ය. එය අප්‍ර‍කට ය. ඖදාරික වූ විතර්කය ඝණ්ටාවකට පළමුවෙනි ගැසීම මෙන් ද, සියුම් වූ විචාරය පළමු ඇති වූ ඝණ්ටා නාදය අනුව පසු ව ඇදෙන සියුම් හඬ මෙන් ද දත යුතු යයි කියා තිබේ. මේ උපමාවෙන් විචාරය විතර්කයට පසුව ඇති වන්නක් සේ හැඟෙන්නට පිළිවන. චෛතසික දෙකේ සැටි දැක්වීමට මේ උපමාව කියා ඇති මුත් ඒ දෙක පෙර පසු නොවී ඒකක්ෂණයෙහි ඇති වන ධර්ම දෙකක් සැටියට තේරුම් ගත යුතු ය.

අධිමොක්ඛය

අරමුණේ සැටි විනිශ්චය කර ගන්න ස්වභාවය අධිමොක්ඛ නම් වේ. මේ චෛතසිකය නිසා එසේ ද මෙසේ ද කියා දෙතුන් පැත්තකට නො ගොස් හරියට හෝ වේවා වැරදියට හෝ වේවා යම් කිසි එක් ආකාරයකින් සිතට අරමුණ ගත හැකි වන්නේ ය. මේ චෛතසිකය නැති නම්, සිත හරියට අරමුණ අල්ලා ගැනීමට නො සමත් වෙයි. මෙයත් තේරුම් ගැනීමට දුෂ්කර අප්‍ර‍කට චෛතසිකයෙකි.

විරිය

කටයුත්තෙහි නො පසු බස්නා ස්වභාවය, පටන් ගත් දෙය සිදු වන තුරු ඉදිරියට යන ස්වභාවය වීර්‍ය්‍ය නම් වේ. කායික වීර්‍ය්‍යය - චෛතසික වීර්‍ය්‍යය කියා වීර්‍ය්‍ය දෙකක් ඇත්තේ ය. මෙහි අදහස් කරනුයේ චෛතසික වීර්‍ය්‍යය ය. ශරීර ශක්තියට කායික වීර්‍ය්‍යය යි කියනු ලැබේ. එය චෛතසික ධර්මයක් නො වේ.

පීතිය

සිත පිනා යන ස්වභාවය - මලක් මෙන් ප්‍රබෝධ වන, පිම්බෙන ස්වභාවය පීති නම් වේ. මෙය ඉතා ප්‍ර‍කට ස්වභාවයකි.

ඡන්දය

ඒ ඒ දේවල් කරනු කැමැත්ත, කිරීමේ ඕනෑකම ඡන්ද නම් වේ. මෙය ලෝභයට මඳක් සමාන සේ පෙනෙන චෛතසිකයෙකි. එහෙත් ලෝභයෙහි මෙන් ඇලෙන ස්වභාවයක් ඡන්‍දයෙහි නැත. ඡන්දය ඇලීමෙන් තොර වූ ඕනෑකමෙකි. අනේක ප්‍ර‍කාර ඡන්ද ඇත්තේ ය. ලෝභ සහගත සිත්වල ඇති වන ඡන්දය ලෝභයට අනුකූල ය. ලෝභයට විරුද්ධ සිත්වල ඇති වන ඡන්දය ලෝභයට විරුද්ධ ය.

සර්වචිත්ත සාධාරණ චෛතසිකයන් මෙන් සෑම සිතක ම යෙදෙන්නේ නැති ව, කුශලාකුශල ලෞකික ලෝකෝත්තරාදි සැම පක්ෂවලට ම අයත් සිත්වල සුදුසු පරිදි විසිරී යෙදෙන බැවින් මේ චෛතසික සය ප්‍ර‍කීර්ණක නම් වේ.

සර්‍වචිත්ත සාධාරණ චෛතසික සත ය, ප්‍ර‍කීර්ණක චෛතසික සය ය යන මේ චෛතසික තෙළෙස, අකුශල රාශිය ය - ශෝභන රාශිය ය යන රාශි දෙකට අයත් චෛතසිකයෝ හා යෙදෙන බැවින් අන්‍යසමාන නම් වේ.

4. අකුශල චෛතසික තුදුස

“මෝහය, අහිරිකය, අනොත්තප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝසය, ඉස්සාවය, මච්ඡරිය ය, කුක්කුච්චය, ථීනය, මිද්ධය, විචිකිච්ඡාව ය යි අකුශල චෛතසික තුදුසෙකි.

මෝහය

අරමුණෙහි සැබෑ තත්ත්වය වසන ස්වභාවය මෝහ නම් වේ. මෝ මෝහය ඇසෙහි ඇති පටලයක් වැනිය යි ද, අඳුරක් වැනිය යි ද කිය යුතු ය. මේ නිසා සත්ත්වයනට දුක ම මිහිරක් සැටියට, සැපයක් සැටියට පෙනේ. දුක් ඇති වීමේ හේතුව වන තණ්හාව සැපයේ හේතුවක් සේ පෙනේ. දුක් නිවීම වූ සැබෑ සැපය, නපුරක් සැටියට පෙනේ. සැප ලැබීමේ සැබෑ මඟ දුකක් සැටියට පෙනේ. එබැවින් දුක නො දැනීම ය, දුක් ඇති වීමේ හේතුව නො දැනීම ය, දුක් නිවීම වූ සැබෑ සැපය නො දැනීම ය, සැබෑ සැපයට පැමිණෙන මාර්ගය නො දැනීම ය යන මේවාට මෝහය යයි කියනු ලැබේ. අවිද්‍යාව යයි කියනුයේ ද මේ මෝහයට ය.

අහිරිකය

පාපය පිළිකුල් නො කරන ස්වභාවය අහිරික නමි. මෙයට පාපයට ලජ්ජා නො වන ස්වභාවය යි ද කියනු ලැබේ.

අනොත්තප්පය

පාපයට බිය නො වන ස්වභාවය අනොත්තප්පය නමි. අහිරිකය අනොත්තප්පය යන මේ චෛතසික දෙක අකුශල පක්ෂයෙහි මහ බල දෙකකි.

උද්ධච්චය

සිත සැලෙන ස්වභාවය, ආරම්මණයෙහි මැනවින් නො පිහිටන ස්වභාවය උද්ධච්ච නමි. මෙය සමාධියට විරුද්ධ ස්වභාවයෙකි.

ලෝභය

අරමුණ හොඳ දෙයක් සැටියට ගෙන, එහි ඇලෙන ස්වභාවය ලෝභ නමි. එය අරමුණට ඇලුම් කරන ස්වභාවය යි ද කිය යුතු ය. රාගය - ප්‍රේමය - ආලය - ආදරය - ආශාව - ඕනෑකම යන වචන වලින් කියැවෙන්නේ ද ලෝභය ම ය.

දිට්ඨිය

වරදවා දකින ස්වභාවය, කාරණය වැරදි ලෙස ගන්නා ස්වභාවය දිට්ඨි නම් වේ. ඇති දෙයක් නැති සැටියටත්, නැති දෙයක් ඇති සැටියටත්, වූ දෙයක් නො වූ දෙයක් සැටියටත්, වන දෙයක් නො වන දෙයක් සැටියටත්, හොඳ දෙය නරක දෙය ලෙසටත්, නරක දෙයක් හොඳ දෙය ලෙසටත්, හොඳ විපාකයක් ඇති දෙය නරක විපාකයක් ඇති දෙයක් ලෙසටත්, නරක විපාකයක් ඇති වන දෙය හොඳ විපාකයක් ඇති වන සැටියටත් දක්නා ස්වභාවය වරදවා දකින ස්වභාවය ය. දිට්ඨිය - සම්මා දිට්ඨි - මිච්ඡා දිට්ඨි කියා දෙ පරිදි වේ. සම්මා දිට්ඨි යනු කාරණය ඇති සැටියට දක්නා නුවණ ය. මිච්ඡා දිට්ඨි යනු වරදවා දකින ස්වභාවය ය. මේ අකුශල චෛතසිකයන්හි දිට්ඨි යන නාමයෙන් දැක්වෙන්නේ මිච්ඡා දිට්ඨිය ය.

මානය

මම ලෝකයෙහි එක්තරා උසස් කෙනෙක්මිය යනාදීන් තමාගේ තත්ත්වය තමා විසින් ම මැන ගන්නා ස්වභාවය මාන නම් වේ. සෙය්‍ය මානය - සදිස මානය - හීන මානය කියා මානය තෙ වැදෑරුම් වේ. තමා අන්‍යයන්ට වඩා උසස් ය කියා ඇති වන මානය “සෙය්‍යමාන” නම් වේ. තමා අන්‍යයන් හා සමය කියා ඇති වන මානය “සදිස මාන” නම් වේ. තමා අන්‍යයන්ට වඩා හීනය කියා ඇති වන මානය “හීන මාන” නම් වේ. මේ මානය උමතු කමක් මෙන් දතයුතු යයි කියා තිබේ.

දෝසය

අරමුණට විරුද්ධ ස්වභාවය දෝසය ය. ද්වේෂය යනු ද එයට නමෙකි. එය සාමාන්‍යයෙන් නපුරු බව රළු බව ලක්ෂණ කොට ඇතියකි. එය කීප ආකාරයකින් ඇති වේ. ක්‍රෝධය - කෝපය - භය - නො සතුට - පිළිකුල - අප්‍ර‍සාදය යන නම් වලින් කියැවෙන්නේ ද ඒ ඒ ආකාරයෙන් ඇති වන්නා වූ ද්වේෂ ය ය. ශෝකයත් ද්වේෂය හා ඇති වන්නකි.

ඉස්සාව

අනුන් ගේ සැපයට - අනුන් ගේ සම්පත්තියට විරුද්ධ ස්වභාවය ඉස්සා නමි. ඊර්ෂ්‍යා යනු ද එයට නමෙකි.

මච්ඡරිය

තමා අයත් දෙයක් අනිකකට අයිති වීම නො ඉවසන්නා වූ ද, තමා අයත් දෙයකින් අනිකකුට ප්‍රයෝජනයක් වීම නො ඉවසන්නා වූ ද, තමා ගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනිකකුට ලැබීම නො ඉවසන්නා වූ ද, තමාගේ සම්පත්තිය හඟවන්නා වූ ද ස්වභාවය මච්ඡරිය නමි. මාත්සර්‍ය්‍ය යනු ද එයට නමෙකි.

(ආවාස මච්ඡරිය - කුලමච්ඡරිය - ලාභ මච්ඡරිය - වණ්ණ මච්ඡරිය - ධම්ම මච්ඡරිය යයි මච්ඡරිය පසක් බව ධම්මසඞ්ගණියේ වදාරා තිබේ.)

කුක්කුච්ච

කළ පව් කම් ගැන හා නො කළ පින් කම් ගැනත් පසු තැවෙන ස්වභාවය කුක්කුච්ච නම් වේ.

ථීනය හා මිද්ධය

සිතෙහි දුබල බව, චිත්ත වේගයේ හීන බව, සිතෙහි අලස බව ථීන නම් වේ. චෛතසිකයන්ගේ දුබල බව, අලස බව මිද්ධ නම් වේ. ථීන මිද්ධ ඇති වීමෙන් සිත හැකිළේ. වීර්‍ය්‍යය හීණ වේ. සමහරවිට නිදිමත ද ඇති වේ.

විචිකිච්ඡාව

අරමුණ පිළිබඳ වූ සැකය විශ්වාසයක් නැති බව විචිකිච්ඡා නම් වේ. මෙය ශ්‍ර‍ද්ධාවට හා ඥානයටත් විපක්ෂ චෛතසිකයෙකි. මේ අකුශල කථාවෙහි විචිකිච්ඡා යනුවෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සියලු ම කුශලයන්ටත්, විශේෂයේ ධ්‍යානාදි උසස් ධර්මවලටත් බාධක වූ සැකයෝ ය. නො දන්නා දේවල් පිළිබඳ ව, එසේ ද, මෙසේ ද කියා කාහටත් සැක ඇති වේ. එය මේ විචිකිච්ඡා චෛතසිකය නොවේ. අකුශල විචිකිච්ඡා වන්නේ බුදුන් ගැන සැක කිරීම්, දහම් ගැන සැක කිරීම් ආදිය ය.

5. ශෝභන සාධාරණ චෛතසික එකුන්විස්ස

සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍ර‍මජ්ඣත්තතා, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කායලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කායකම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා යන මේ චෛතසික එකුන්විස්ස ශෝභන සාධාරණ චෛතසිකයෝ ය.

සද්ධා

බුද්ධාදීන් කෛරහි විශ්වාසය, බුද්ධ ගුණාදිය පිළිගන්නා ස්වභාවය සද්ධා නම් වේ. එයට ශ්‍ර‍ද්ධාව යයි ද කියනු ලැබේ. “පැහැදීමය” යි ද කියනු ලැබේ. මේ ශ්‍ර‍ද්ධාව කුසල් කිරීමේ දී මහා බලයෙකි. එය කුසලයන් ගන්නා ස්වභාවයෙන් අතක් වැනිය යි ද, සියලු සම්පත් ලබා දීම් වශයෙන් ධනයක් වැනිය යි ද, සියලු කුශලයන්ට මුල් වන බැවින් බීජයක් වැනිය යි ද කියා තිබේ.

සති

සිහිය සති නම් වේ. අකුශල පක්ෂයෙහි ම ගමන් කිරීම - පැවතීම සත්ත්වයා ගේ සිතෙහි ස්වභාවය ය. මේ චෛතසිකයෙන් සත්ත්වයා ගේ සිතට අකුශල පක්ෂයෙහි ම ගමන් කරන්නට නො දී, කුශල පක්ෂයෙහි පිහිටුවීම සිදු කරනු ලැබේ.

හිරි - ඔත්තප්ප

පාපය පිළිකුල් කරන පාපයට ලජ්ජා වන ස්වභාවය හිරි නම් වේ. පවට බිය වන ස්වභාවය ඔත්තප්ප නම් වේ. සත්පුරුෂයෝ මේ හිරි - ඔතප් දෙක නිසා පවින් වැළකී මනා කොට හැසිරෙති.

අලෝභ

අරමුණෙහි නො ඇලෙන ස්වභාවය අලෝභ නම් වේ. අලෝභයෙන් යුක්ත වන සිත, නෙළුම් පතෙහි දිය මෙන් නො ඇලී අරමුණෙහි පවතී. අලෝභය ලෝභයට විරුද්ධ ස්වභාවයකි.

අදෝස

අදෝස යනු මෛත්‍රිය ය. එය ද්වේෂයට විරුද්ධ ස්වභාවය ය.

තත්‍ර‍මජ්ඣත්තතා

එකට බැඳී උපදනා චිත්ත - චෛතසිකයන් ගේ වේගයන් අඩු වැඩි වන්නට නො දී, සමව පවත්වන ස්වභාවය “තත්‍ර‍මජ්ඣත්තතා” නම් වේ.

කායපස්සද්ධි - චිත්තපස්සද්ධි

කායපස්සද්ධි යන මෙහි “කාය” යයි කියනුයේ චෛතසිකයන්ට ය. චිත්තපස්සද්ධි යන මෙහි “චිත්තය” යි කියනුයේ ශෝභන චිත්තයට ය. චෛතසිකයන්ගේ සන්සුන් බව “කායපස්සද්ධි” නම් වේ. චිත්තයා ගේ සන්සුන් බව “චිත්තපස්සද්ධි” නම් ව්. මේ ධර්ම දෙක චිත්ත-චෛතසිකයන් නො සන්සුන් කරන ඖද්ධත්‍යාදි ක්ලේශයන්ට විපක්ෂ ධර්ම දෙකකි.

කායලහුතා - චිත්තලහුතා

චෛතසිකයන්ගේ සැහැල්ලු බව “කායලහුතා” නම් වේ. සිතෙහි සැහැල්ලු බව “චිත්තලහුතා” නම් වේ. මේ චෛතසික දෙක රෝගියකුගේ ශරීරය මෙන් චිත්ත චෛතසික බර බවට පැමිණවීමෙන් දුබල කරන, ථීන-මිද්ධාදීන්ට විරුද්ධ ධර්ම දෙකකි.

කායමුදුතා - චිත්තමුදුතා

චෛතසිකයන් ගේ මොළොක් බව “කායමුදුතා” නම් වේ. සිතෙහි මොළොක් බව “චිත්තමුදුතා” නම් වේ. මේ චෛතසික දෙක චිත්ත චෛතසිකයන් තද බවට - දළදඬු බවට පත් කරන, දෘෂ්ටි - මානාදි ක්ලේශයන්ට විරුද්ධ ධර්ම දෙකකි.

කායකම්මඤ්ඤතා - චිත්ත කම්මඤ්ඤතා

චෛතසිකයන් ගේ කර්මණ්‍ය භාවය “කායකම්මඤ්ඤතා” නම් වේ. සිතෙහි කර්මණ්‍ය භාවය “චිත්ත කම්මඤ්ඤතා” නම් වේ. කර්මණ්‍යතාව යනු ඕනෑ ම සියුම් කර්මාන්තයකට, රත්රන් ඔරොත්තු දෙන්නාක් මෙන් කුශල ක්‍රියාවට ඔරොත්තු දෙන බව ය. මේ චෛතසික දෙක චිත්ත - චෛතසිකයන් ක්‍රියාවට අයෝග්‍ය කරන ක්ලේශයන්ට ප්‍ර‍තිපක්ෂය ය.

කායපාගුඤ්ඤතා - චිත්තපාගුඤ්ඤතා

චෛතසිකයන් ගේ ඒ ඒ ක්‍රියා විෂයයෙහි හුරු බව “කායපාගුඤ්ඤතා” නම් වේ. සිතෙහි හුරු බව “චිත්ත පාගුඤ්ඤතා” නම් වේ. මේ චෛතසික දෙක චිත්ත චෛතසිකයන් ගිලන් බවට පමුණුවන, දුබල බවට පමුණුවන අශ්‍ර‍ද්ධාදි ක්ලේශයන්ට විපක්ෂ ය.

කායුජ්ජුකතා - චිත්තුජ්ජුකතා

චෛතසිකයන්ගේ සෘජු බව (ඇද නැති බව) “කායුජ්ජුකතා” නම් වේ. සිත්හි සෘජු බව චිත්තුජ්ජුකතා නම් වේ. මේ ධර්ම දෙක මායා - සාඨෙය්‍යාදියට විපක්ෂ ය.

මේ චෛතසික දහනවය විශේෂයක් නැති ව සියලු ම ශෝභන සිත්වල යෙදෙන බැවින් සෝභන සාධාරණ නම් වෙති.

6. අසාධාරණ ශෝභන චෛතසික සය

සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මේ චෛතසිකයෝ තිදෙන විරති නම් වෙති.

බොරු කීම - කේලාම් කීම - ඵරුෂ වචන කීම නිෂ්ඵල වචන කීම යන කටින් සිදුවන පව් කම් සතරින් වළක්නා ස්වභාවය, සම්මා වාචා” නම් වේ.

සතුන් මැරීම - සොරකම් කිරීම - පරදාර සේවනය යන කයින් සිදුවන පව් කම් තුනෙන් වළක්නා ස්වභාවය “සම්මා කම්මන්ත” නමි.

කයින් හා වචනයෙන් කරන පව් කම් දිවි පැවැත්වීමේ උපායක් වශයෙන් ද කෙරෙති. අන් කරුණු සඳහා ද කෙරෙති. දිවි පැවැත්වීම සඳහා කරන කාය වාග් දුශ්චරිතවලින් වළක්නා ස්වභාවය “සම්මා ආජීව” නමි.

මේ චෛතසික තුන කරණ කොට ගෙන පව් කම්වලින් වළක්නා බැවින් ඒ චෛතසිකයෝ විරති නම් වෙති.

කරුණා-මුදිතා යන මේ චෛතසික දෙක අප්‍ර‍මාණ්‍ය නම් වේ.

තමාට දුක් ඇති වෙනාවට නො කැමති වන්නාක් මෙන් ම, අනුන් දුක් වීමත් නො කැමති වන, අනුන් දුකින් මුදවනු කැමති ස්වභාවය “කරුණා” නම් වේ.

තමාට යම් සම්පතක් ලැබුණ හොත් ඒ ගැන සතුටු වන්නාක් මෙන්, අනුන්ගේ සම්පත් ගැන සතුටු වන්නා වූ ස්වභාවය ‘මුදිතා’ නම් වේ.

අප්‍ර‍මාණ සත්ත්වයන් ගැන පවත්වන බැවින් මේ දෙක අප්‍ර‍මාණ්‍ය නම් වේ.

සිතින් දැන ගන්නවාට වඩා හොඳින්, වඩා පිරිසිදු ලෙස - වඩා ගැඹුරු ලෙස අරමුණු දක්නා ස්වභාවය ප්‍ර‍ඥා චෛතසිකයය. එයට “අමෝහය” යි ද, “විද්‍යාව” යයි ද කියනු ලැබේ.

ශෝභන සාධාරණ චෛතසික දහනවය ය, විරති තුන ය, අප්‍ර‍මාණ්‍ය දෙක ය, ප්‍ර‍ඥා චෛතසිකය ය යන මේ චෛතසික විසිපහට “ශෝභන චෛතසික” ය යි කියනු ලැබේ.

විශේෂ කරුණු

සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය කියා එක් එක් විරති චෛතසිකයන් තුන් ආකාර වේ. පව් කමක් කරන්නට සිදු වන අවස්ථාවක් පැමිණි කල්හි, කලින් සික පද සමාදන් වීමක් නැති ව ම හෝ සික - පද සමාදන් වී තුබුණත් ඒවා ගැන අපේක්ෂාවක් නො කොට, පාපයෙහි දෝෂය පමණක් සලකා, පවින් වළකින්නහුට ඇති වන විරතිය “සම්පත්ත විරති” නම් වේ. සික - පද සමාදන් වීම් වශයෙන් ද, සමාදන් වූ සික - පද රැකීම් වශයෙන් ද ඇති වන විරතිය “සමාදන විරති” නම් වේ. ලෝකෝත්තර මාර්ග චිත්තය හා උපදනා විරතීහු “සමුච්ඡේද විරති” නම් වෙති.

මෛත්‍රී - කරුණා - මුදිතා - උපේක්ෂා යයි අප්‍ර‍මාණ්‍ය සතරෙකි. මේ ශෝභන චෛතසිකවල දී අප්‍ර‍මාණ්‍ය නාමයෙන් චෛතසික දෙකක් පමණක් දක්වා ඇත්තේ තත්‍ර‍මජ්ඣත්තතා නාමයෙන් උපේක්ෂාවත්, අදෝස නාමයෙන් මෛත්‍රියත් ශෝභන සාධාරණ චෛතසිකයන්ට ඇතුළත් ව කියැවුණු බැවිනි.

මේවා කටපාඩම් කර ගන්න.

“ඵස්ස වේදනා සඤ්ඤා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාරය” යි සර්ව චිත්ත සාධාරණ චෛතසික සතෙකි.

“විතක්ක විචාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද ය” යි ප්‍ර‍කීර්ණක චෛතසික සයෙකි.

“මෝහ අහිරික අනොත්තප්ප උද්ධච්ච ලෝභ දිට්ඨි මාන දෝස ඉස්සා මච්ඡරිය කුක්කුච්ච ථින මිද්ධ විචිකිච්ඡා ය” යි අකුශල චෛතසික තුදුසෙකි.

“සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස තත්‍ර‍මජ්ඣත්තතා කායපස්සද්ධි චිත්තපස්සද්ධි කායලහුතා චිත්තලහුතා කායමුදුතා චිත්තමුදුතා කායකම්මඤ්ඤතා චිත්තකම්මඤ්ඤතා කායපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා” යි සෝභන සාධාරණ චෛතසික එකුන්විස්සෙකි.

“සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය” යි විරති තුනෙකි.

“කරුණා, මුදිතාය” යි අප්‍ර‍මාණ්‍ය දෙකකි. “ප්‍ර‍ඥා” චෛතසිකයත් සමග මේ චෛතසික පස් විස්ස ශෝභන චෛතසිකයෝ ය.

අන්‍යසමාන දහතුන ය, අකුශල දාහතර ය, සෝභන විසිපසය යි චෛතසික පනස් දෙකකි.

7. අන්‍යසමාන චෛතසික සම්ප්‍රයෝගය

චෛතසික සම්ප්‍රයෝගය පහසුවෙන් තේරුම් ගත හැකි වීමට, ධ්‍යාන භේදයෙන් හා වේදනා භේදයෙන් සිත් බෙදන හැටි, නැවතත් සිහි කර ගත යුතු ය. අහේතුක අකුශල විපාකවල චක්ඛු විඤ්ඤාණාදි වශයෙන් විඤ්ඤාණ නාමයෙන් කියැවුණු සිත් පසක් ඇත්තේ ය. කුශල විපාකවල ද පසක් ඇත්තේ ය. ඒ සිත් දශයට ද්විපඤ්ච විඥාන යන නාමය ව්‍යවහාර කරන බව ද මතක තබා ගත යුතු ය.

දෙපනස් චෛතසිකයන් අතුරෙන්, සර්ව චිත්ත සාධාරණ චෛතසික සත විශේෂයක් නැති ව, සියලු ම සිත් හා සම්ප්‍රයෝග වන බව දත යුතු ය. ප්‍ර‍කීර්ණක චෛතසිකයන් අතුරෙන් විතර්කය ද්විපඤ්ච විඤ්ඤාණ දශය හැර, ඉතිරි කාමාවචර සිත් සතළිස් සතරය, ප්‍ර‍ථම ධ්‍යාන සිත් එකොළොසය යන සිත් පනස් පසෙහි යෙදේ. ඉතිරි සිත් සැට සයෙහි නො යෙදේ.

විචාරය විතර්කය යෙදෙන සිත් පනස්පස ය, ද්විතීය ධ්‍යාන සිත් එකොළොසය යන සිත් සැට සයෙහි යෙදේ. ඉතිරි සිත් පනස් පසෙහි නො යෙදේ.

අධිමෝක්ෂය ද්විපඤ්චවිඤ්ඤාණයෝය, විචිකිච්ඡා සහගත සිතය යන සිත් එකොළොස හැර, ඉතිරි සිත් සැත්තෑ අටෙහි යෙදේ. නො යෙදෙන සිත් එකොළොසෙකි.

වීර්‍ය්‍යය පඤ්චද්වාරාවජ්ජනය, ද්විපඤ්චවිඤ්ඤාණයෝ ය. සම්පටිද්ධන දෙක ය, සන්තීරණ තුන ය යන සිත් දහසය හැර, ඉතිරි සිත් හැත්තෑ තුනෙහි යෙදේ. සිත් දහසයක නො යෙදේ.

ප්‍රීතිය දෝමනස්ස සහගත් සිත් දෙක ය, උපේක්ෂා සහගත සිත් පනස් පහය, කාය විඤ්ඤාණ දෙකය, චතුර්ථ ධ්‍යාන සිත් එකොළොසය යන සිත් සැත්තෑව හැර ඉතිරිසිත් පනස් එකෙහි යෙදේ. නො යෙදෙන සිත් සැත්තෑවකි.

ඡන්දය අහේතුක දහ අට ය, මෝහ මූල දෙක ය යන සිත් විස්ස හැර, ඉතිරි සිත් හැර නවයෙහි යෙදේ. නො යෙදෙන සිත් විස්සෙකි.

විශේෂ කරුණු:

රූපාදි ආරම්මණයන් චක්ෂුරාදි වස්තූන්හි ගැටීමේ හේතුවෙන් උපදනා ද්විපඤ්ච විඤ්ඤාණයන්ට, අරමුණට යෑමට විතර්කයේ උපකාරයක් වුවමනා නැත. එබැවින් ඒ සිත්වල විතර්කය නො යෙදේ. විතර්කය නැති ව අරමුණට යා හැකි වන පරිදි භාවනාවෙන් දියුණු කර ඇති බැවින් ද්විතීය ධ්‍යානාදි සිත්වලටත් විතර්කය වුවමනා නැත.

ද්විපඤ්ච විඤ්ඤාණයන් දුර්වල සිත් කොටසක් බැවින් ඒවායේ ප්‍ර‍කීර්ණක චෛතසික එකකුදු නො යෙදේ. ද්විතීය ධ්‍යානාදි සිත්වල විතර්කය නො යෙදෙන්නේ ද භාවනා බලයෙන් ප්‍ර‍හාණය කරන ලද බැවිනි.

අධිමෝක්ෂය විනිශ්චය කරන ස්වභාවය ඇති චෛතසිකයක් බැවින් විචිකිච්චා සහගත සිතෙහි නො යෙදේ. පඤ්චද්වාරාවජ්ජනාදි සිත්වල විරිය චෛතසිකය නො යෙදෙන්නේ ද ඒ සිත් දුබල බැවිනි.

දෝමනස්ස - උපේක්ඛා වේදනා, ප්‍රීතියට පටහැණි බැවින් දෝමනස්ස - උපේක්ඛා සහගත සිත්වල ප්‍රීතිය නො යෙදේ. කාය විඤ්ඤාණය සුඛ සහගත වුව ද දුබල බැවින් එහි ප්‍රීතිය නො යෙදේ. සෝමනස්ස සහගත වූ චතුර්ථ ධ්‍යාන චිත්තයෙහි භාවනා බලයෙන් ප්‍ර‍හීණ බැවින් ප්‍රීතිය නූපදී. අහේතුක සිත් හා මෝහ මූල සිත් යම් කිසිවක් සිදු කිරීමේ කැමැත්තෙන් තොර, දුබල සිත් කොටසක් බැවින් ඒවායේ ඡන්දය නො යෙදේ.

සිත්වල යෙදෙන චෛතසික ගණන් සෙවීමේ දී නිතර ම පැටලෙන්නේ මේ ප්‍ර‍කීර්ණක චෛතසික සය ය. එබැවින් ඒ චෛතසිකයන් ගේ සම්ප්‍රයෝගය හොඳින් ප්‍ර‍ගුණ කර ගත යුතු ය. ප්‍ර‍කීර්ණක චෛතසික එකකුදු නො යෙදෙන සිත් ඇත්තේ පඤ්චවිඤ්ඤාණ සිත් දශය පමණකි. ලෝභ මූල සෝමනස්ස සහගත සතර ය. කාමාවචර ශෝභන සෝමනස්ස සහගත සිත් දොළොස ය, ප්‍ර‍ථම ධ්‍යාන සිත් එකොළොස ය යන මේ සිත් විසි සතෙහි ප්‍ර‍කීර්ණක චෛතසික සියල්ල යෙදේ. ඉතිරි සිත්වල සුදුසු පරිදි යෙදේ. සියලු ම සිත්වල යෙදෙන බැවින් සර්වචිත්ත සාධාරණ චෛතසික ගැන අමුතුවෙන් සොයන්න දෙයක් නැත. සෝමනස්ස සහගත දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිතේ පටන් සිත් එක සිය විසි එකේ ම යෙදෙන ප්‍ර‍කීර්ණක චෛතසික සොයනු. ඉක්මනින් කියහැකි වන තෙක් එය ප්‍ර‍ගුණ කරනු.

ප්‍ර‍ශ්න

  1. විතර්කය යෙදෙන සිත් කොතෙක් ද? නො යෙදෙන සිත් කොතෙක් ද? විචාරාදිය ගැනත් එසේ සොයනු.
  2. දෙපස් විඤ්ඤාණයන්හි විතර්කය නො යෙදෙන්නේ කුමක් නිසා ද?
  3. විචාරය තෘතීය ධ්‍යානාදියෙහි නො යෙදෙන්නේ කුමක් නිසා ද?
  4. ප්‍රීතිය සෝමනස්ස සහගත වූ චතුර්ථ ධ්‍යාන සිත් වල නොයෙදෙන්නේ කුමක් නිසා ද?
  5. ප්‍ර‍කීර්ණක චෛතසික නො යෙදෙන සිත් කවරහු ද?
  6. ප්‍ර‍කීර්ණක චෛතසික සියල්ලම යෙදෙන සිත් කවරහු ද?
  7. දෝමනස්ස සහගත සිත්වල යෙදෙන ප්‍ර‍කීර්ණක චෛතසික කවරහු ද?
  8. විචිකිච්ඡා සහගත සිතේ යෙදෙන ප්‍ර‍කීර්ණක චෛතසික කවරහු ද?

8. අකුශල චෛතසික සම්ප්‍රයෝගය

අකුශල චෛතසිකයන් අතුරෙන් මෝහ - අහිරික - අනොත්තප්ප - උද්ධච්ච යන චෛතසිකයෝ සතර දෙන අකුශල සාධාරණයෝ ය. ඒ සතරත් වෙනසක් නැතිව අකුශල් සිත් සියල්ලෙහි ම යෙදේ.

ලෝභය ලෝභ මූල සිත් අටෙහි යෙදේ. දිට්ඨිය දිට්ඨි සම්පයුත්ත සිත් සතරෙහි යෙදේ. මානය දිට්ඨි විප්පයුත්ත සිත් සතරෙහි සමහරවිට යෙදේ.

දෝස - ඉස්සා - මච්ඡරිය - කුක්කුච්ච යන සතර ද්වේෂ මූල සිත් දෙක්හි යෙදේ. එයින් ඉස්සා - මච්ඡරිය - කුක්කුච්ච - චෛතසික තුන යෙදෙන්නේ සමහර අවස්ථාවල ය.

ථීන - මිද්ධ දෙක සසංඛාරික සිත් පසෙහි යෙදේ. ඒවා යෙදෙන්නේ ද සමහර අවස්ථාවක ය. “විචිකිච්ඡාව” විචිකිච්ඡා සහගත සිතෙහි පමණක් යෙදේ.

අකුශල සිත් සියල්ලෙහි ම යෙදෙන චෛතසික සතරෙකි. ලෝභ මූල සිත්වල පමණක් යෙදෙන චෛතසික තුනකි. ද්වේෂ මූල සිත්වල පමණක් යෙදෙන චෛතසික සතරෙකි. අකුශල සසඞ්ඛාරික සිත්වල ම යෙදෙන චෛතසික දෙකකි. විචිකිච්ඡා සහගත සිත්හි පමණක් යෙදෙන චෛතසික එකකි. පිළිවෙළින් අකුසල් සිත් දොළොසෙහි යෙදෙන අකුශල චෛතසික සොයනු.

විශේෂ කරුණු

අකුශලයන් ගේ දොස් දක්නා නුවණ ඇතොත් අකුසල් සිල් නූපදී. එසේ ම අකුශලය පිළිකුල් කරන හිරිය හා එයට බිය වන ඔත්තප්පය ඇති කල්හි අකුසල් සිත් නූපදී. කුශල ධර්ම විෂයයෙහි සිත පිහිටා ඇති කල්හි ද අකුසල් සිත් නූපදී. සෑම අකුසල සිතක් ම ඇති වීමට එහි ආදීනවය වසන මෝහයත්, එයට ලජ්ජා නොවන අහිරිකයත්, බිය නො වන අනොත්තප්පයත් සැලෙන උද්ධච්චයත් තිබිය යුතු ය. එබැවින් මෝහ - අහිරික - අනොත්තප්ප - උද්ධච්ච යන සතර සියලු ම අකුසල් සිත්වල යෙදෙන බව කියනු ලැබේ.

“පඤ්චස්කන්ධය ආත්මයක් ය, නිත්‍ය දෙයක් ය” යනාදීන් ගන්නා දෘෂ්ටිය ඇති වන්නේත්, තමා උසස් ය යනාදීන් ගන්නා මානය ඇති වන්නේත්, පඤ්චස්කන්ධය කෙරෙහි ඇල්ම වූ ලෝභයත් සමග ම ය. එබැවින් දෘෂ්ටි, මාන චෛතසික දෙක ලෝභ මූල සිත්වල මිස අනික් සිතක ඇති නොවේ. නිත්‍යාදි වශයෙන් ගැනීම ය, උසස්ය යනාදීන් ගැනීමය යන මේ දෙක එකිනෙකට වෙනස් බැවින් කිසි කලෙක එක් සිතක එකවර ඇති නො වේ. දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත සිත්වල මානය නො යෙදෙන්නේ එහෙයිනි.

මාත්සර්‍ය්‍යය තමාගේ වස්තූන්හි ඇලෙන ලෝභය නිසා හටගන්නකි. එහෙත් එය තමාගේ වස්තුව අනුන්ට සාධාරණ වීම නො ඉවසීම් වශයෙන් ඇති වන්නක් බැවින් ද්වේෂය සමග මිස ලෝභය සමග ඇති නො වේ. මච්ඡරිය ය ද්වේෂ මූල චිත්තයෙහි ම ඇති වන බව කියන ලද්දේ එහෙයිනි.

සිත දුබල කරන - වැඩට අයෝග්‍ය කරන ථීනමිද්ධ චෛතසික දෙක දුබල වූ සසඞ්ඛාරික සිත්වල ම යෙදේ. ඒවා සසඞ්ඛාරික සිත්වල යෙදෙන්නේ ද සමහර අවස්ථාවක පමණෙකි. සැම කල්හි නො යෙදේ.

ප්‍ර‍ශ්න

  1. අකුසල් සිල් සියල්ලෙහි යෙදෙන චෛතසික කවරහු ද?
  2. ලෝභ මූල සිත්වල පමණක් යෙදෙන චෛතසිත කවරහු ද?
  3. ද්වේෂ මූලයෙහි පමණක් යෙදෙන චෛතසික කවරහු ද?
  4. ලෝභ මූල පළමු වන සිත හා යෙදෙන අකුශල චෛතසික කවරහු ද?
  5. දෙවන සිත හා යෙදෙන අකුශල චෛතසික කවරහු ද?
  6. ද්වේෂ මූල පළමු වන සිතෙහි යෙදෙන අකුශල චෛතසික කවරහු ද?
  7. විචිකිච්ඡා සහගත සිතෙහි යෙදෙන අකුශල චෛතසික කවරහු ද?

9. ශෝභන චෛතසික සම්ප්‍රයෝගය

ශෝභන චෛතසිකයන් අතුරෙන් ශෝභන සාධාරණ චෛතසික දහනවය: කෙටි ක්‍ර‍මයෙන් පනස් නවයක් වූද, විස්තාර ක්‍ර‍මයෙන් අනූ එකක් වූ ද සියලු ම ශෝභන සිත්වල වෙනසක් නැති ව යෙදේ.

විරති චෛතසික තුන ලෝකෝත්තර සිත්වල සැම කල්හි ම එකට ම යෙදේ. ලෞකික සිත්වලින් කාමාවචර කුසල් සිත් අටෙහි සමහර අවස්ථාවලදී වෙන වෙන ම යෙදේ. කාමාවචර කුශලයෙහි එක වරකට යෙදෙන්නේ විරතිවලින් එක් චෛතසිකයක් පමණෙකි.

අප්‍ර‍මාණ්‍ය චෛතසික දෙක ප්‍ර‍ථම - ද්විතීය - තෘතීය - චතුර්ථ ධ්‍යාන රූපාවචර සිත් දොළොස ය, කාමාවචර කුසල් අට ය, සහේතුක කාමාවචර ක්‍රියා අට ය යන සිත් විසි අටෙහි සමහර අවස්ථාවල දී වෙන් වශයෙන් යෙදේ. කරුණා - මුදිතා දෙක එක් සිතක එකවරකට නො යෙදේ. “සෝමනස්ස සහගත සිත්වල මිස උපේක්ෂා සහගත සිත්වල කරුණා - මුදිතා නො යෙදෙති ය” යන ආචාර්‍ය්‍ය මතයක් ද ඇත්තේ ය. ඒ මතයේ සැටියට කරුණා - මුදිතා යෙදෙන සිත් විස්සෙකි.

ප්‍ර‍ඥා චෛතසිකය ඥාන සම්ප්‍ර‍යුක්ත කාමාවචර සිත් දොළොස ය, රූපාවචර සිත් පසළොස ය, අරූපාවචර සිත් දොළොස ය, ලෝකෝත්තර සිත් අට ය යන සිත් සතළිස් සතෙහි යෙදේ.

සෝභන සාධාරණ දහනවය සිත් පනස් නවයකුත්, විරති තුන සිත් දහසයකත්, අප්‍ර‍මාණ්‍ය දෙක සිත් විසි අටකත්, ප්‍ර‍ඥා චෛතසිකය සිත් සතළිස් සතකත් යෙදේ.

දැන් එක් එක් ශෝභන සිතක් කොතෙක් ශෝභන චෛතසික යෙදෙනවා ද කියා සිත් පිළිවෙළින් සොයා බලන්න. ශෝභන සාධාරණ දහනවය සියලු ම ශෝභන සිත්වල යෙදෙන නිසා ඒවා ගැන අමුතුවෙන් සොයන්නට දෙයක් නැත. සමහර සිත් සමග පමණක් යෙදෙන ශෝභන චෛතසික ඇත්තේ සයක් පමණෙකි. එබැවින් චෛතසික ගණන සෙවීම අපහසු නැත.

විශේෂ කරුණු

කාමාවචර කුශල චිත්තයෙහි විරති චෛතසික යෙදීම සම්බන්ධයෙන් සමහර විටෙක යෙදීම ය, යෙදෙන කල්හිත් සියල්ල ම එකවර නොයෙදී වෙන වෙන ම යෙදීම ය යන මේ කරුණු දෙක විශේෂයෙන් සැලකිය යුතුය. දන් දීම් - වැඳුම් පිදුම් කිරීම් - බණ කීම් - බණ ඇසීම් - ආදිය සිදු කරන කාමාවචර කුශල චිත්තයෙහි විරති චෛතසික නො යෙදේ. ඒවා යෙදෙන්නේ, කාමාවචර කුශල චිත්තයෙන් දුශ්චරිතයෙන් වැළකීම් වශයෙන් ශීලය සම්පූර්ණ කරන අවස්ථාවලදී පමණකි. සියලු ම දුශ්චරිතයන්ගෙන් වැළකීම එකවර සිදු කළ හැකි නො වේ. වාක් දුශ්චරිතයෙන් වැළකීම කරන අවස්ථාවේදී කාය දුශ්චරිතයෙන් වැළකීමක් සිදු නො වේ. කාය දුශ්චරිතයෙන් වළක්නා අවස්ථාවේ දී වාක් දුශ්චරිතයෙන් වැළකීමක් සිදු නොවේ. සම්මා වාචා චෛතසිකයෙන් බොරු කීමෙන් වළක්නා අවස්ථාවේ දී බොරු කීමෙන් වැළකීම මිස, කේලාම් කීම ආදියෙන් වැළකීමක් නො වේ. කේලාම් කීමෙන් වැළකෙන අවස්ථාවේ දී ද බොරු කීම් ආදියෙන් වැළකීමක් නො වේ. කරුණු මෙසේ හෙයින් කාමාවචර කුශලයෙහි එක වරකට එක් විරති චෛතසිකයක් මිස දෙක තුනක් නො යෙදේ. රූපාවචර අරූපාවචර සිත් දුශ්චරිතයෙන් වැළකීම් වශයෙන් උපදනා සිත් නො වන බැවින් ඒවායේ විරති චෛතසික නො යෙදේ.

සත්ත්වයන් අතින් පව් කම් කෙරෙන්නේ කෙලෙසුන් නිසා ය. ලෝකෝත්තර මාර්ග චිත්තයෙන් පව්කම්වලට හේතු වන කෙලෙස් නසනු ලැබේ. කෙලෙස් නැසීම අනුව පව් කම්වලින් වැළකීම සිදු වන බැවින් සැම කල්හි ම ලෝකෝත්තර සිත් සමග විරති චෛතසික තුන ම යෙදේ.

කාමාවචර සිත්වල අප්‍ර‍මාණ්‍ය යෙදෙන්නේ ද දුඃඛිත සත්ත්වයනට අනුකම්පා කරන, සුඛිතයන් ගැන සතුටු වන අවස්ථාවල පමණකි. අනුකම්පා කිරීම ය, සුඛිතයන් ගැන සතුටුවීම ය යන මේ දෙක එකිනෙකට වෙනස් වැඩ දෙකක් නිසා, එකවර එක් සිතක අප්‍ර‍මාණ්‍ය චෛතසික දෙක ම නො යෙදේ. කසිණාදිය අරමුණු කරන රූපාවචර සිත්වල අප්‍ර‍මාණ්‍ය නො යෙදේ. ඒවා යෙදෙන්නේ කරුණාව හෝ මුදිතාව වඩා උපදවා ගත් රූපාවචර ධ්‍යාන සිත්වල පමණකි.

දෙපනස් චෛතසිකයන් අතුරෙන් ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, මාන, ථීන, මිද්ධ යන චෛතසික එකොළොස නියමිත සිත්වල සමහර විටෙක පමණක් යෙදෙන්නේ ය. එබැවින් ඒවාට ‘අනියතයෝගීය’ යි කියනු ලැබේ. නියම වශයෙන් ම ඒ ඒ සිත්වල යෙදෙන බැවින් ඉතිරි චෛතසික සතළිස් එකට ‘නියතයෝගීය’ යි කියනු ලැබේ.

ප්‍ර‍ශ්න

  1. විරති චෛතසික සැම කල්හි ම යෙදෙන්නේ කවර සිත්වල ද?
  2. මහග්ගත සිත්වල විරති නො යෙදෙන්නේ කුමක් නිසා ද?
  3. කාමාවචර කුශලයෙහි විරති-අප්‍ර‍මාණ්‍ය යෙදෙන්නේ කවර අවස්ථාවල ද?
  4. අනියතයෝගී චෛතසික කොතෙක් ද?

10. අකුසල චිත්තයන්හි චෛතසික සංග්‍ර‍හය

එක් එක් චෛතසිකයන් කවර කවර සිත්වල යෙදෙනවා ද කියා දැන් ඔබ දන්නෙහි ය. මින් ඉදිරියට කළ යුත්තේ සිතක් පාසා ම ඒ ඒ සිතේ යෙදෙන චෛතසික ගණන සොයා ගැනීම ය. මෙ තැන් පටන් චිත්ත පරිච්ඡේදයේ දී සිත් දැක්වූ පිළිවෙළින් ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික සඞ්ඛ්‍යාව දක්වනු ලැබේ.

අන්‍යසමාන චෛතසික දහතුනය, අකුශල චෛතසික දාහතරය කියා අකුසල් සිත්වල යෙදෙන චෛතසිකයන් ඇත්තේ විසි හතකි. ඔබට චෛතසික සෙවීම පහසු වනු සඳහා ඒ චෛතසික විසි හතෙන් සියල් ම අකුසල් සිත්වල යෙදෙන චෛතසික පළමුවෙන් සොයා ගන්න. සර්වචිත්ත සාධාරණ චෛතසික සතය. විතක්ක - විචාර - විරිය යන ප්‍ර‍කීර්ණක චෛතසික තුන ය. මෝහ - අහිරික - අනොත්තප්ප - උද්ධච්ච යන අකුසල සාධාරණ චෛතසික සතර ය යන මේ චෛතසික දාහතර සියලු ම අකුසල් සිත්වල යෙදෙන බව මුලින් ම සිතේ තබා ගත්තාම ඒ ඒ සිතේ යෙදෙන අනිකුත් චෛතසික පහසුවෙන් සොයා ගත හැකි වනු ඇත.

ලෝභ මූලයේ පළමු වන සිත වූ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසඞ්ඛාරික සිතෙහි ඉහත කී චෛතසික තුදුස හැර, අමුතුවෙන් යෙදෙන්නේ අධිමොක්ඛ - පීති - ඡන්ද යන අන්‍යසමාන තුන හා ලෝභ දිට්ඨි යන අකුශල චෛතසික දෙක ය.

1. ලෝභමූලයේ පළමු වන චිත්තයෙහි අන්‍යසමාන චෛතසික දහතුනය, අකුශලය සාධාරණ සතරය, ලෝභය ය, දිට්ඨිය ය යන චෛතසික දහනවය යෙදේ.

2. ලෝභ මූලයේ දෙවන චිත්තයෙහි පළමු වන සිතේ යෙදෙන චෛතසික දහනවය ය, ථීන මිද්ධ දෙකය යන චෛතසික විසිඑක යෙදේ. ථීනමිද්ධය යෙදෙන්නේ සමහර විටෙක ය.

3. ලෝභ මූලයේ තුන් වන සිතෙහි අන්‍යසමාන දහතුනය, අකුශල සාධාරණ සතරය, ලෝභ-මාන දෙකය යන චෛතසික එකුන් විස්ස යෙදේ.

4. සතර වන සිතෙහි, තුන් වන සිතේ යෙදෙන චෛතසික හා ථීනමිද්ධ දෙක ද යන චෛතසික විසි එක යෙදේ.

5. පස් වන සිතෙහි, පළමු වන සිතෙහි යෙදෙන චෛතසික දහනවයෙන් පීතිය හැර ඉතිරි දහ අට යෙදේ.

6. සවන සිතෙහි, දෙවන සිතේ යෙදෙන චෛතසික විසි එකෙන් පීතිය හැර ඉතිරි විස්ස යෙදේ.

7. සත්වන සිතෙහි, තුන් වන සිතේ යෙදෙන චෛතසික දහනවයෙන් පීතිය හැර ඉතිරි දහ අට යෙදේ.

8. අට වන සිතෙහි, සතර වන සිතේ යෙදෙන චෛතසික විසි එකෙන් පීතිය හැර ඉතිරි විස්ස යෙදේ.

9. ද්වේෂ මූල පළමු වන සිතෙහි, පීතිය හැර අන්‍ය සමාන දොළස ය, අකුශල සාධාරණ සතර ය, දෝස - ඉස්සා - මච්ඡරිය - කුක්කුච්ච සතරය යන චෛතසික විස්ස යෙදේ. ඉස්සා - මච්ඡරිය - කුක්කුච්චයන් යෙදෙන්නේ සමහර අවස්ථාවල පමණෙකි. යෙදෙන කල්හි ද ඒවායින් එකක් පමණක් යෙදේ.

10. ද්වේෂ මූල දෙවන සිතෙහි, පළමු වන සිතෙහි යෙදෙන චෛතසික විස්සය, ථීන - මිද්ධයෝ ය යන චෛතසික දෙවිස්ස යෙදේ.

11. මෝහ මූල පළමු වන සිතෙහි, අධිමොක්ඛ - ඡන්ද - පීති හැර අන්‍යසමාන දශයය, අකුශල සාධාරණ සතර ය, විචිකිච්ඡාවය යන චෛතසික පසළොස යෙදේ.

12. මෝහ මූල දෙවන සිතෙහි, ඡන්ද - පීති හැර අන්‍ය සමාන එකොළොස ය, අකුසල සාධාරණ සතරය යන චෛතසික පසළොස යෙදේ.

11. අහේතුක චිත්තයන්හි චෛතසික සංග්‍ර‍හය

අහේතුක සිත්වල යෙදෙන්නේ ඡන්දය හැර ඉතිරි අන්‍යසමාන චෛතසික දොළොස පමණෙකි.

අකුශල විපාක චක්ඛුවිඤ්ඤාණාදි සිත් පසෙහි සර්‍ව චිත්ත සාධාරණ සත පමණක් යෙදේ. සම්පටිච්ඡනයෙහි ඡන්ද - පීති - විරිය හැර අන්‍යසමාන චෛතසික දශය යෙදේ. සන්තීරණයෙහි යෙදෙන්නේ ද ඒ දශය ම ය.

කුශල විපාක චක්ඛුවිඤ්ඤාණාදි පසෙහි සර්‍වචිත්ත සාධාරණ සත පමණක් යෙදේ. සම්පටිච්ඡනයෙහි ඡන්ද - පීති - විරිය හැර අන්‍යසමාන දශය යෙදේ. සෝමනස්ස සහගත සන්තීරණයෙහි ඡන්ද - විරිය හැර අන්‍යසමාන එකොළොස යෙදේ. උපේක්ෂා සහගත සන්තීරණයෙහි ඡන්ද - පීති - විරිය හැර අන්‍යසමාන දශය යෙදේ.

අහේතුක ක්‍රියා පඤ්චද්වාරාවජ්ජන චිත්තයෙහි ඡන්ද - පීති - විරිය හැර අන්‍යසමාන චෛතසික දශය යෙදේ. මනෝද්වාරාවජ්ජනයෙහි ඡන්ද - පීති හැර අන්‍යසමාන එකොළොස යෙදේ. හසිතුප්පාදයෙහි ඡන්දය හැර අන්‍යසමාන දොළොස යෙදේ.

12. කාමශෝභන චිත්තයන්හි චෛතසික සංග්‍ර‍හය

අන්‍යසමාන දහතුනය, ශෝභන විසිපහය යන චෛතසික තිස් අට කාමශෝභනයේ යෙදෙන චෛතසිකයෝ ය. ඒවායින් ද උපේක්ෂා සහගත සිත්වල පීතිය ද, ඥාන විප්‍ර‍යුක්ත සිත්වල ප්‍ර‍ඥා චෛතසිකය ද නො යෙදේ. අප්‍ර‍මාණ්‍යය හා විරති විපාකවල නො යෙදේ. ක්‍රියාවල අප්‍ර‍මාණ්‍ය යෙදේ. විරති නො යෙදේ. මේ කරුණු ටික සිතේ තබා ගත්තාම කාමාවචර ශෝභන සිත්වල යෙදෙන චෛතසික පහසුවෙන් සොයා ගත හැකිවනු ඇත.

කාමාවචර කුශලයේ පළමු වන දෙ වන සිත් දෙක්හි අන්‍යසමාන දහ තුනය, ශෝභන විසි පහය යන චෛතසික තිස් අට ම යෙදේ. සෑම තන්හි ම විරති හා අප්‍ර‍මාණ්‍ය සමහර විට පමණක් යෙදෙන බව මතක තබා ගත යුතු ය. තුන් වන සතර වන සිත් ඥාන විප්‍ර‍යුක්ත බැවින් ඒවායේ ප්‍ර‍ඥා චෛතසිකය හැර ඉතිරි තිස් හත යෙදේ. උපේක්ෂා සහගත බැවින් පස් වන සවන සිත් දෙක්හි පීතිය හැර අන්‍යසමාන දොළොසය, ශෝභන චෛතසික විසි පහය යන චෛතසික තිස්හත යෙදේ. සත් වන අටවන සිත් දෙක්හි පීතිය හැර, අන්‍යසමාන දොළොසය, ඤාණ විප්‍ර‍යුක්ත බැවින් ප්‍ර‍ඥාව හැර ශෝභන චෛතසික විසිහතරය යන චෛතසික තිස්හය යෙදේ.

විපාකයෙහි පළමු වන දෙවන සිත් දෙක්හි අන්‍ය සමාන දහතුනය, විරති අප්‍ර‍මාණ්‍ය හැර ශෝභන චෛතසික විස්සය යන චෛතසික තිස් තුන යෙදේ. ඥාන විප්‍ර‍යුක්ත බැවින් තුන් වන සතර වන සිත් දෙක්හි ඉහත කී චෛතසික තෙතිසෙන් ඥානය හැර තිරි දෙතිස යෙදේ. පස්වන සවන සිත් දෙක්හි පීතිය හැර අන්‍යසමාන දොළොසය, ශෝභන සාධාරණ දහ නවය ය, ප්‍ර‍ඥාවය යන චෛතසික දෙතිස යෙදේ. ඒවායින් ඥානය හැර ඉතිරි චෛතසික තිස් එක සත් වන, අට වන සිත් දෙක්හි යෙදේ.

ක්‍රියා සිත්වල පළමු වන දෙසිතෙහි අන්‍යසමාන දහතුනය, ශෝභන සාධාරණ දහ නවයය, අප්‍ර‍මාණ්‍ය දෙකය, ප්‍ර‍ඥාවය යන චෛතසික තිස් පහ යෙදේ. තුන් වන, සතර වන දෙ සිතෙහි ඒ චෛතසිකවලින් ඥානය හැර ඉතිර තිස් හතර යෙදේ. පස් වන, සවන සිත් දෙක්හි පීතිය හැර අන්‍ය සමාන දොළොසය, ශෝභන සාධාරණ දහනවය ය. අප්‍ර‍මාණ්‍ය දෙකය, ප්‍ර‍ඥාවය යන චෛතසික තිස් හතර යෙදේ. ඒවායින් ප්‍ර‍ඥාව හැර ඉතිරි තිස් තුන සත්වන, අට වන සිත් දෙක්හි යෙදේ.

13. රූපාවචර - අරූපාවචර සිත්වල චෛතසික සංග්‍ර‍හය

මහග්ගත සිත්වල යෙදෙන්නේ අන්‍යසමාන චෛතසික දහතුනත්, විරති තුන හැර ශෝභන චෛතසික දෙවිස්සත් ය. එහි චෛතසික යෙදීමේ වෙනස වන්නේ ධ්‍යාන අනුව ය.

රූපාවචර කුශල - විපාක ක්‍රියා ප්‍ර‍ථම ධ්‍යාන සිත් තුනෙහි අන්‍යසමාන දහතුනය, විරති හැර ශෝභන චෛතසික දෙවිස්සය යන චෛතසික පන්තිස යෙදේ. ද්විතීය ධ්‍යාන සිත් තුනෙහි ඒ චෛතසිකවලින් විතර්කය හැර, ඉතිරි තිස්හතර යෙදේ. තෘතීය ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර දෙක ම හැර චෛතසික තිස් තුනක් යෙදේ. චතුර්ථ ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර - ප්‍රීති තුන ම හැර, දෙතිසක් චෛතසික යෙදේ. පඤ්චම ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර - ප්‍රීති - අප්‍ර‍මාණ්‍ය හැර තිසක් චෛතසික යෙදේ.

අරූපාවචර සිත් ද පඤ්චම ධ්‍යාන සිත් ම වන බැවින් ඒවායේ යෙදෙනේනේ ද රූපාවචර පඤ්චම ධ්‍යාන සිත්වල යෙදෙන චෛතසික තිස ම ය.

ලෝකෝත්තර සිත්වල චෛතසික සංග්‍ර‍හය

අන්‍යසමාන දහතුන ය, අප්‍ර‍මාණ්‍ය හැර ශෝභන චෛතසික තෙවිස්ස ය යන මේවා ලෝකෝත්තර සිත් වල යෙදෙන චෛතසිකයෝ ය. එහි ද චෛතසික යෙදීමේ වෙනස වන්නේ ධ්‍යානයන්ගේ වශයෙනි.

ලෝකෝත්තර ප්‍ර‍ථම ධ්‍යාන සිත් අටෙහි අන්‍ය සමාන තෙළෙස ය, අප්‍ර‍මාණ්‍ය හැර ශෝභන චෛතසික තෙවිස්ස ය යන චෛතසික තිස් හය යෙදේ. ද්විතීය ධ්‍යාන සිත් අටෙහි විතර්කය හැර ඉතිරි චෛතසික තිස් පහ යෙදේ. තෘතීය ධ්‍යාන සිත් අටෙහි විතර්ක, විචාර දෙක ම හැර චෛතසික තිස්හතරක් යෙදේ. චතුර්ථ ධ්‍යාන, පඤ්චම ධ්‍යාන සිත් දහසයෙහි විතර්ක, විචාර, ප්‍රීති හැර චෛතසික තෙතිසක් යෙදේ.

ලෝකෝත්තර සිත් උපදින්නේ නිවන අරමුණු කොට ය. අප්‍ර‍මාණ්‍ය චෛතසික උපදින්නේ සත්ත්වයන් අරමුණු කොට ය. අරමුණුවල වෙනස්කම නිසා ලෝකෝත්තර චිත්තයෙහි අප්‍ර‍මාණ්‍ය නූපදී. මහද්ගත සිත්වල විරති නො යෙදෙන්නේ ඒ සිත් කසිණාදිය අරමුණු කොට ම උපදනා බැවිනි.

ඉතා ම වැඩි ගණනක් චෛතසික එකවර යෙදෙන්නේ ලෝකෝත්තර ප්‍ර‍ථම ධ්‍යාන සිත්වල ය. කාමාවචර කුශලයෙහි සාමාන්‍යයෙන් චෛතසික තිස් අටක් යෙදෙන බව කියන නමුත් එහි එක වරකට යෙදිය හැකි වැඩි ම චෛතසික ගණන තිස් හතරකි. ඉතා ම අඩු ගණනක් චෛතසික යෙදෙන්නේ දෙපස් විඤ්ඤාණයෙහි ය.

මෙතෙකින් ද්විතීය පරිච්ඡේදය නිමියේ ය.

3. තෘතීය පරිච්ඡේදය

දැන් ඔබ චිත්ත - චෛතසිකයන් දන්නෙහි ය. චිත්ත චෛතසිකයන් පිළිබඳ ව ඔබගේ දැනුම සම්පූර්ණ වීමට ඒවා ඇති වන සැටි (චිත්ත වීථි) උගත යුතු ය. ඒවා උගත හැකි වීමට පළමු කොට චිත්ත චෛතසිකයන්ගේ වේදනාදි විභාගත් උගත යුතු ය. එබැවින් මෙ තැන් පටන් වේදනා, හේතු, කෘත්‍ය, ද්වාර, ආරම්මණ, වස්තූන් ගේ වශයෙන් චිත්ත විභාගය දක්වනු ලැබේ.

1. වේදනා සංග්‍ර‍හය

“සුඛ වේදනාවය, දුඃඛ වේදනාවය, උපේක්ෂා වේදනාවය” යි වේදනා තුනෙකි. “සුඛ වේදනාවය, දුඃඛ වේදනාවය, සෝමනස්ස වේදනාවය, දෝමනස්ස වේදනාවය, උපේක්ෂා වේදනාවය” යි තවත් ක්‍ර‍මයකින් වේදනා පසෙකි.

මෙහි වේදනා ය යි කියනුයේ දෙපනස් චෛතසිකයන්ගෙන් එකක් වූ වේදනා චෛතසිකය ය. එය තථාගතයන් වහන්සේ විසින් නොයෙක් තැන්වල අනේකාකාරයෙන් විභාග කොට දක්වා වදාරා තිබේ. වේදනාව ය යන අරමුණු රසය විඳීම ය. මිහිරක් වශයෙන් ද අරමුණු රසය විඳිනු ලැබේ. අමිහිරක් වශයෙන් ද අරමුණු රසය විඳිනු ලැබේ. මධ්‍යස්ථ වශයෙන් ද අරමුණු රසය විඳිනු ලැබේ. මේ තුන් ආකාරය හැර අරමුණු රස විඳීමේ තවත් ආකාර නැත. එබැවින් වේදනාව අරමුණු රසය විඳීම අනුව තුන් ආකාර වේ. මෙහි පස් ආකාරයකින් වේදනාව දක්වා ඇත්තේ, ඉන්ද්‍රිය දේශනාව අනුව ය. ඉන්ද්‍රිය දේශනාවෙහි කායික සුඛ වේදනාව සුඛින්ද්‍රිය යයිද, මානසික සුඛ වේදනාව සෝමනස්සින්ද්‍රිය යයි ද, කායික දුඃඛ වේදනාව දුක්ඛින්ද්‍රිය යයි ද, මානසික දුඃඛ වේදනාව දෝමනස්සින්ද්‍රිය යයි ද, උපේක්ෂා වේදනාව උපෙක්ඛින්ද්‍රිය යයිද වදාරා තිබේ.

ඒ ඒ වේදනාවලින් යුක්ත වන සිත් චිත්ත පරිච්ඡේදයේ දැක්වෙන පරිදි පහසුවෙන් ම සොයා ගත හැකි ය. සුඛ සහගත සිත් ඇත්තේ අහේතුක කුශල විපාක කාය විඤ්ඤාණය පමණෙකි. දුක්ඛ සහගත සිත් ඇත්තේ අහේතුක අකුශල විපාක කාය විඤ්ඤාණය පමණෙකි.

ලෝභ මූල සෝමනස්ස සහගත සිත් සතර ය, අහේතුක කුශල විපාක සෝමනස්සසහගත සන්තීරණය, හසිතුප්පාදය, කාමාවචර සෝභන සෝමනස්ස සහගත සිත් දොළොසය, ප්‍ර‍ථම ධ්‍යානසිත් එකොළොසය, ද්විතීය ධ්‍යාන සිත් එකොළොසය, තෘතීය ධ්‍යාන සිත් එකොළොසය, චතුර්ථ ධ්‍යාන සිත් එකොළොසය යන මේ සිත් සැට දෙක සෝමනස්ස සහගත චිත්තයෝ ය.

ද්වේෂ මූල සිත් දෙක දෝමනස්ස සහගත සිත් ය.

අකුශලයේ සයක් ද, අහේතුකයේ තුදුසක් ද, කාම ශෝභනයේ දොළොසක් ද, රූපාවචරයේ තුනක් ද, අරූපාවචරයේ දොළොසක් ද, ලෝකෝත්තරයේ අටක් ද වීමෙන් උපේක්ෂා සහගත සිත් පනස් පසක් වේ.

ප්‍ර‍ශ්න

  1. වේදනාව තුන් ආකාර වන්නේ කුමක් අනුව ද?
  2. වේදනාව පස් ආකාර වන්නේ කුමක් අනුව ද?
  3. සෝමනස්ස සහගත සිත් කොතෙක් ද?
  4. උපේක්ෂා සහගත සිත් කොතෙක් ද?

2. හේතු සංග්‍ර‍හය

“ලෝභය - දෝසය - මෝහය - අලෝභය - අදෝසය - අමෝහය” යි හේතු සයෙකි. එහි ලෝභ - දෝස - මෝහ යන තුන අකුශල චෛතසික තුනෙකි. අලෝභ - අදෝස දෙක ශෝභන සාධාරණ චෛතසික දෙකකි. අමෝහය යනු ප්‍ර‍ඥා චෛතසිකය ය.

ගින්න නිසා දුම ඇති වන්නාක් මෙන්, යම් යම් දේ ඇති වීමට කරුණු වන දේවලට ලෝකයෙහි “හේතු” යන නම ව්‍යවහාර කරනු ලැබේ. මේ අභිධර්මයෙහි ලෝභාදි ධර්ම සයට හේතු යන නාමය ව්‍යවහාර කරන්නේ ඒවා යම් කිසිවක් ඇති වීමට කරුණු වීම නිසා නොවේ. ගස්වලට ඇද වැටෙන්නේ නැති ව පොළොවෙහි පිහිටා සිටීමට මුල් උපකාර වන්නාක් මෙන්, චිත්ත - චෛතසිකයන් හට අරමුණෙහි පිහිටා සිටීමට ලෝභාදි සය උපකාර වේ.

ලෝභය ලෝභනීය ආරම්මණයෙහි තදින් කා වැදේ. එය හා සම්ප්‍ර‍යුක්ත වන සිත හා චෛතසික, ලෝභය නිසා ඒ අරමුණෙහි නො සැලී පිහිටයි. ද්වේෂය ආරම්මණයෙහි තදින් කා වැදේ. එය හා සම්ප්‍ර‍යුක්ත වන චිත්ත - චෛතසිකත් එහි උපකාරයෙන් අරමුණෙහි නො සැලී පිහිටයි. මෝහාදිය නිසා ද එසේ ම සම්ප්‍ර‍යුක්ත චිත්ත - චෛතසික අරමුණෙහි නොසැලී පිහිටයි. මේ ධර්මයෙහි ලෝභාදියට හේතු යන නාමය ව්‍යවහාර කරන්නේ සම්පයුත්ත චිත්ත චෛතසිකයන් හට අරමුණෙහි නො සැලී සිටීමට උපකාරක ධර්මයන් වන නිසාය. සම්ප්‍ර‍යුක්ත ධර්මයන් හට අරමුණෙහි නො සැලී සිටීමට උපකාර වන ධර්මයෝ හේතු නම් වෙති. හේතු ජාති සතරක් ඇත්තේ ය. මේවාට කියන්නේ මූල හේතුය කියා ය. අභිධර්මයෙහි සැම තැන ම පරමාර්ථ ධර්මයන්ගේ අහේතුක සහේතුක භාවය කියන්නේ මේ මූල හේතූන් ඇති නැති බව සඳහා ය.

චිත්ත පරිච්ඡේදයේ අහේතුක නාමයෙන් කියැවුණ සිත් දහ අට මූල හේතූන් නැති බැවින් අහේතුක සිත් ය. ඉතිරි සිත් සැත්තෑ එක හේතු සහිත බැවින් සහේතුක සිත් ය.

ලෝභ - දෝස - මෝහ යන තුන අකුශල හේතු ය. එක් සිතක ලැබෙන්නේ ඒවායින් එකක් හෝ දෙකකි. එබැවින් ඒකහේතුක, ද්විහේතුක අකුසල මිස ත්‍රිහේතුක අකුසල් නැත. අලෝභාදි හේතු තුන, කුශල හේතු ද වේ. කුශලාකුශල නො වන (අව්‍යාකෘත) හේතු ද වේ. සමහර සිතක අලෝභාදි හේතු තුන ම ලැබේ. සමහර සිතක අමෝහ හේතුව හැර ඉතිරි දෙක ලැබේ. අලෝභාදීන් ගෙන් එකක් පමණක් ලැබෙන සිතක් නැත.

මෝහ මූල සිත් දෙක මෝහ නමැති එක ම හේතුවක් ඇති බැවින් ඒකහේතුක සිත් ය. ඉතිරි අකුසල් සිත් දශය ය. ඥාන විප්‍ර‍යුක්ත කාමාවචර ශෝභන සිත් දොළොසය යන දෙවිස්ස ද්විහේතුක සිත් ය. ඉතිරි සිත් සතළිස් හත ත්‍රිහේතුක සිත් ය.

ප්‍ර‍ශ්න

  1. ලෝභාදීන්ට හේතු යන නාමය ව්‍යවහාර කරන්නේ කුමක් නිසා ද?
  2. අමෝහය කියනුයේ කුමකට ද?
  3. ද්විහේතුක සිත්වල ඇති හේතු කවරහු ද?
  4. ත්‍රිහේතුක සිත්වල ඇති හේතු කවරහු ද?

3. කෘත්‍ය සංග්‍ර‍හය

I කොටස

චිත්ත පරිච්ඡේදයෙහි දැක්වූ සිත් සත්ත්වයන් තුළ ඇති වන්නේ යම් කිසි ක්‍ර‍මයක් අනුව නොයෙක් කෘත්‍යයන් (වැඩ) සිදු කරමිනි. ඒ ඒ කරුණ අනුව සත්ත්වයන් තුළ ඇති වන්නා වූ සිත් වැල්වලට චිත්ත වීථි යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. චිත්ත වීථි දැක්වීමේ දී අකුශල සිතය - ලෝභ මූල සිත ය - ද්වේෂ මූල සිතය යනාදීන් චිත්ත පරිච්ඡේදයේදී සිත්වලට ව්‍යවහාර කළ නම් නො කියනු ලැබේ. වීථි දැක්වීමේ දී සිත් හඳුන්වන්නේ, ඒ ඒ සිත්වලින් සිදු කරන කෘත්‍යය අනුව, ඒ ඒ සිත්වලට ලැබෙන නම් වලිනි. එබැවින් චිත්ත වීථි කාණ්ඩය උගත හැකි වීමට මේ කෘත්‍ය සඞ්ග්‍ර‍හය හොඳින් ප්‍ර‍ගුණ වී තිබිය යුතු ය.

ප්‍ර‍තිසන්ධි කෘත්‍යය ය, භවාඞ්ග කෘත්‍යය ය, ආවර්ජන කෘත්‍යය ය, දර්ශන කෘත්‍යය ය, ශ්‍ර‍වණ කෘත්‍යය ය, ආඝ්‍රාණ කෘත්‍යය ය, ආස්වාදන කෘත්‍යය ය, ස්පර්ශන කෘත්‍යය ය, සම්ප්‍රත්‍යේෂණ කෘත්‍යය ය, සන්තීරණ කෘත්‍යය ය, ව්‍යවස්ථාපන කෘත්‍යය ය, ජවන කෘත්‍යය ය, තදාලම්බන කෘත්‍යය ය, ව්‍යුති කෘත්‍යය ය කියා සිත්වලින් සිදු කරන කෘත්‍ය දාහතරකි.

මේ කෘත්‍යය දාහතරෙන් එක කෘත්‍යයක් වත් සිදු නො කරන සිතක් නැත. ඇතැම් සිතකින් කෘත්‍යය දෙක - තුන - සතර - පහ බැගින් ද සිදු කරනු ලැබේ.

මරණයෙන් සිත් පරම්පරාව සිඳී යන්නට නොදී වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කිරීම ප්‍ර‍තිසන්ධි කෘත්‍යය ය.

අභිනව භවයෙහි උපන් පසු සිත් පරම්පරාව සිඳී යන්නට නො දී පැවැත්වීම භවාඞ්ග කෘත්‍යය ය.

චිත්ත වීථියක් ඇති වන පරිදි යම්කිසි අරමුණකට චිත්ත පරම්පරාව යොමු කිරීම - හැරවීම ආවර්ජන කෘත්‍යය ය.

රූප දැකීම හෙවත් දැන ගැනීම දර්ශන කෘත්‍යය ය.

ශබ්ද ඇසීම හෙවත් දැන ගැනීම ශ්‍ර‍වණ කෘත්‍යය ය.

සුගඳ - දුගඳ ආඝ්‍රාණය කිරීම හෙවත් දැන ගැනීම ආඝ්‍රාණ කෘත්‍යය ය.

ආහාරාදියේ රසය ආස්වාදනය කිරීම හෙවත් දැන ගැනීම ආස්වාදන කෘත්‍යය ය.

ශරීරයේ සැපෙන දේ දැන ගැනීම ස්පර්ශන කෘත්‍යය ය.

චක්ෂුර් විඥානාදියෙන් ගත් රූපාදි අරමුණු පිළි ගැනීම සම්ප්‍රත්‍යේෂණ කෘත්‍යය ය.

සම්ප්‍රත්‍යේක්‍ෂණයෙන් පිළිගත් රූපාදි අරමුණු විමසීම සන්තීරණ කෘත්‍යය ය.

විමසූ අරමුණේ තතු විනිශ්චය කිරීම ව්‍යවස්තාපන කෘත්‍යය ය.

අරමුණ දැන ගැනීම පිළිබඳ වූ ද, දීම් - ගැනීම් ආදි ක්‍රියා පිළිබඳ වූ ද, අධික චිත්ත වේගය ජවන කෘත්‍යය ය.

ජවනයෙන් ගත් අරමුණ ගැනීම තදාලම්බන කෘත්‍ය ය.

භවය කෙළවර කිරීම - භවයෙන් පහවීම ච්‍යුති කෘත්‍යය ය.

සිත්වලින් කරන මේ කෘත්‍යයන් පිළිබඳව දැනට ඔබට නියම අවබෝධයක් ඇති කර ගත නො හැකි ය. ඒවා ගැන නියම වැටහීමක් ඇති වන්නේ චිත්ත වීථි උගෙනීමේ දී ය. දැන් ඔබ විසින් කළ යුත්තේ කෘත්‍ය්‍යන් හා ඒවා සිදු කරන සිත් හොඳින් මතක තබා ගැනීම ය. එසේ නො කළ හොත් වීථි කාණ්ඩය උගෙනීම අපහසු වනු ඇත.

එක් භවයකදී එක් පුද්ගලයකුට ප්‍ර‍තිසන්ධි සිත් ඇති වන්නේ එකකි. ච්‍යුති සිත් ද එකකි. සත්ත්වයන්ට බහුල ව ඇති වන්නේ භවාඞ්ග සිත් ය. එහෙත් ඒවායේ ඇති වීම නො දැනේ. සිත්වල ප්‍ර‍ධාන කොටස ජවන් සිත් ය. භවාඞ්ග සිත් ඇරුණාම සත්ත්වයකු තුළ වඩා උපදින්නේ ජවන් සිත් ය. අරමුණ හොඳට දැන ගන්නේත්, ක්‍රියා සිදු කරන්නේත්, පින් - පව් වන්නේත් ජවන් සිත් ය.

II වන කොටස

උපේක්ෂා සහගත සන්තීරණ දෙකය, මහා විපාක අට ය, මහද්ගත විපාක නවය ය යන මේ සිත් දහනවය ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති යන කෘත්‍ය තුන සිදු කරන සිත් ය. ඒ එක් එක් සිතකින් කෘත්‍ය තුන ම සිදු කරන නමුත් එක වරක දී සිදු කරන්නේ එක් කෘත්‍යයක් පමණෙකි.

පඤ්චද්වාරාවජ්ජනය, මනොද්වාරාවජ්ජනය යන සිත් දෙක ආවර්ජන කෘත්‍ය සිදු කරන සිත් ය.

චක්ෂුර් විඥාන දෙකින් දර්ශන කෘත්‍යය ද, ශෝත්‍ර‍ විඥාන දෙකින් ශ්‍ර‍වන කෘත්‍යය ද, ඝ්‍රාණ විඥාන දෙකින් ආඝ්‍රාණ කෘත්‍යය ද, ජිහ්වා විඥාන දෙකින් ආස්වාදන කෘත්‍යය ද, කාය විඥාන දෙකින් ස්පර්ශන කෘත්‍යය ද, සම්පටිච්ඡන සිත් දෙකෙන් සම්ප්‍රත්‍යේෂණ කෘ කෘත්‍යය ද සිදු කරනු ලැබේ.

සන්තීරණ සිත් තුනෙන් සන්තීරණ කෘත්‍යය සිදු කරනු ලැබේ.

මනෝද්වාරාවජ්ජන චිත්තයෙන් ව්‍යවස්ථාපන කෘත්‍යය ද සිදු කරනු ලැබේ.

අකුසල් සිත් දොළොසය - හසිතුප්පාද සිතය - මහා කුසල් සිත් අටය - මහා ක්‍රියා අටය - මහද්ගත කුසල් නවයය - මහද්ගත ක්‍රියා නවයය - ලෝකෝත්තර සිත් අටය යන මේ සිත් පනස් පස ජවන චිත්තයෝ ය.

මහා විපාක අටය - සන්තීරණ තුනය යන මේ එකොළොස තදාලම්බන කෘත්‍යය ඇති සිත් ය.

උපේක්ෂා සහගත සන්තීරණ දෙක: ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති - සන්තීරණ - තදාරම්මණ යන පස් කිස ම සිදු කරන සිත් ය.

මහා විපාක අට: ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති - තදාරම්මණ යන සිවු කිස ම සිදු කරන සිත් ය.

මහග්ගත විපාක නවය: ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති වශයෙන් කෘත්‍ය තුනක් සිදු කරන සිත් ය.

සෝමනස්ස සන්තීරණයෙන් සන්තිරණ - තදාරම්මණ යන දෙකිස සිදු කරනු ලැබේ.

මනෝද්වාරාවජ්ජනයෙන් ව්‍යවස්ථාපන - ආවර්ජන දෙකිස සිදු කරනු ලැබේ.

ජවන් සිත් පස් පනසය, පඤ්චද්වාරාවජ්ජනයය, සම්පටිච්ඡන දෙක ය, දෙපස් විඤ්ඤාණ දශයය යන සිත් සැට අට එක් කිසක් පමණක් කරන සිත් ය. කෘත්‍ය දෙක තුන සිදු කරන සිත්වලින් ද, එක් වරකට සිදු කරන්නේ එක් කෘත්‍යයක් ම බව දත යුතු ය.

ප්‍ර‍ශ්න

  1. කෘත්‍ය සඞ්ග්‍ර‍හයෙන් ඇති විශේෂ ප්‍රයෝජනය කුමක් ද?
  2. ජවන් සිත් කොතෙක් ද?
  3. කාමාවචර ජවන් කොතෙක් ද?
  4. මහද්ගත ජවන් කොතෙක් ද?
  5. ජවන චිත්තයන් ගෙන් සිදු කරන්නේ කුමක් ද?
  6. සිත්වල ප්‍ර‍ධාන කොටස කවරක් ද?
  7. එක් කෘත්‍යයක් පමණක් සිදු කරන සිත් කවරහු ද?

4. ද්වාර සංග්‍ර‍හය

I කොටස

ඇතුලු වන, පිට වන ස්ථානවලට “ද්වාරය” යි කියනු ලැබේ. රූපාදි අරමුණු සත්ත්ව සන්තානයට ඇතුළු වන්නා වූ ද, සිත රූපාදි අරමුණු කරා යන්නා වූ ද ස්ථාන, සත්ත්වයන් ගේ ශරීරවල ද ඇත්තේ ය. මේ අභිධර්මයෙහි ඒවා ද්වාර නාමයෙන් හඳුන්වනු ලැබේ. රූපාදි ආරම්මණයන් කරා සිත් පරම්පරා ගලාගෙන යන්නේ ඒ ද්වාරවලිනි. එබැවින් අභිධර්මය උගන්නා තැනැත්තා විසින් ඒ ද්වාර ගැන ද දැන සිටිය යුතු ය.

චක්ඛුද්වාරය, සෝතද්වාරය, ඝානද්වාරය, ජිව්හා ද්වාරය, කායද්වාරය, මනෝද්වාරය කියා ද්වාර සයක් ඇත්තේ ය.

ඇසේ කළු ඉංගිරියාව මැද ඉදිරියෙහි ඇති වස්තූන්ගේ ඡායා රූප වැටෙන තැනක් ඇත්තේ ය. එය ප්‍ර‍මාණයෙන් උකුණු හිසක් පමණ බව කියා තිබේ. එයට චක්ෂුඃ ප්‍ර‍සාදය යි ද කියනු ලැබේ. චක්ඛුද්වාරය යි කියනුයේත් එයට ය. ඉදිරියේ ඇති වස්තූන් ගේ ඡායාරූප එහි වැටීම, රූපාරම්මණය සත්ත්ව සන්තානයට ඇතුළු වීම ය. ඒ නිසා පිටත ඇති රූපය පිළිබඳව පඤ්චද්වාරාවජ්ජන - චක්ඛුවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණාදි සිත් පරම්පරාවක් ඇති වීම, එ තැනින් රූපාරම්මණය කරා සිත යාම ය. මෙසේ රූපාරම්මණය ඇතුළු වීමත් සිත් පිට වීමත් සිදු වන බැවින් චක්ෂුඃ ප්‍ර‍සාදය ද්වාරයක් වේ.

කනෙහි ශබ්දය ගැටෙන - ශබ්දය පිළිබිඹු වන තැනක් ඇත්තේ ය. එයට ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය යි ද කියනු ලැබේ. ඒ ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය සෝතද්වාරය ය.

නාසයෙහි ද ගන්ධය දැනගන්නා සිත් ඇති වීමට හේතු වන පරිදි ගන්ධයන් ගැටෙන තැනක් ඇත්තේ ය. එයට ඝ්‍රාණ ප්‍ර‍සාදය යි කියනු ලැබේ. ඝානද්වාරය යි කියනුයේ ද එය ය.

දිවෙහි ද රසය ගැටෙන තැනක් ඇත්තේ ය. එයට ජිහ්වා ප්‍ර‍සාදය යි කියනු ලැබේ. ඒ ජිහ්වා ප්‍ර‍සාදය ජිහ්වාද්වාරය ය.

ස්පර්ශය දැන ගැනීමට උපකාර වන එක්තරා සූක්ෂ්ම දෙයක් ශරීරයේ පැතිරී ඇත්තේ ය. එයට කාය ප්‍ර‍සාදය යි කියනු ලැබේ. කායද්වාරය යි කියනුයේ ද ඒ කාය ප්‍ර‍සාදයට ම ය. පඤ්ච ප්‍ර‍සාදයන් පිළිබඳ විස්තර රූප කාණ්ඩයේ දී දත හැකි වනු ඇත.

භවාඞ්ගය යි කියනු ලබන ප්‍ර‍කෘති චිත්තය ම මනෝද්වාරය ය. පඤ්චද්වාරයේ දැන ගන්නට ලැබෙන රූප ශබ්දාදි අරමුණු පසත්, පඤ්චද්වාරයට අවිෂය නොයෙක් දේත් දැන ගැනීමට මනෝද්වාරය උපකාර වේ.

II කොටස

පඤ්චද්වාරාවජ්ජනය, චක්ඛුවිඤ්ඤාණ දෙක ය, සම්පටිච්ඡන දෙක ය, සන්තීරණ තුන ය, ව්‍යවස්ථාපන (මනෝද්වාරාවජ්ජන) සිත ය, කාමාවචර ජවන් විසි නවය ය, තදාලම්බන එකොළොස ය යන සිත් සතළිස් සය චක්ඛුද්වාරයෙහි උපදනා සිත් ය.

පඤ්චද්වාරාවජ්ජනාදි වශයෙන් සිත් දක්වන ලද්දේ චක්ඛුද්වාරයෙහි සිත් උපදනා පිළිවෙළ අනුව ය. කියන ලද පරිදි සිත් ගණන එකතු කළ හොත් සතළිස් නවයක් වේ. එසේ වන්නේ සන්තීරණ තුන තදාලම්බනවලදී නැවතත් අසුවන බැවිනි. නියම වශයෙන් සිත් ගණන ලැබෙන්නට වරක් ගණන් ගත් සන්තීරණය අතහැර දමා තදාලම්බන අටක් වශයෙන් ගණන් ගත යුතු ය. මෙහි තදාලම්බන එකොළොසක් කියන ලදුයේ සන්තීරණ තුන තදාලම්බන වශයෙනුත් ඇති වන නිසා ය.

චක්ෂුර්ද්වාරයෙහි උපදනා සිත් සසාළිස අතුරෙන්, එහි ම උපදනා සිත් ඇත්තේ චක්ෂුර්විඥාන දෙක පමණෙකි. ඉතිරි සිත් සතළිස් සතර සෝත - ඝාන - ජිව්හා - කාය යන ද්වාර සතරෙහි ද උපදී. ඒවායින් කොටසක් මනෝද්වාරයෙහි ද උපදී.

චක්ෂුර්විඥානද්වයය හැර චක්ෂුර්ද්වාරයෙහි උපදනා සිත් සතළිස් සතරය. සෝතවිඤ්ඤාණ දෙකය යන සිත් සසාළිස සෝතද්වාරයෙහි උපදනා සිත් ය.

මුලින් කී සිත් සතළිස් සතරය ඝාන විඤ්ඤාණ දෙකය යන සිත් සසාළිස ඝානද්වාරයෙහි උපදී.

ජිව්හා ද්වාර - කාය ද්වාර දෙක්හි ද සිත් සසාළිස බැගින් ම උපදී. ඉහත කී සිත් සතළිස් සතරට, ජිව්හා විඤ්ඤාණ දෙක හා කායවිඤ්ඤාණ දෙක එකතු කොට සිත් ගණන ගත යුතු ය. චක්ෂුරාදි ද්වාර පසෙහි ම උපදින්නේ කාමාවචර සිත් පනස් සතර ය. රූපාවචර - අරූපාවචර - ලෝකෝත්තර සිත් පඤ්චද්වාරයෙහි නූපදී.

මනෝද්වාරයෙහි මනෝද්වාරාවජ්ජනය ය, ජවන් පනස් පසය, තදාලම්බන එකොළොසය යන සිත් හැට හත උපදී.

ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති කෘත්‍යයන් සිදු කරන සිත් දහනවය ඒවා ම මනෝද්වාරය වන බැවින් ද්වාරවල නූපදින සිත් ය. ඒවා ද්වාරවිමුක්ත චිත්තයෝ ය. ඉතිරි සිත් සැත්තෑව ද්වාරවල උපදින සිත් ය. ඒවා ද්වාරික චිත්ත නම් වේ.

එකුන් අනූවක් වූ සිත් අතර එක ද්වාරයක පමණක් උපදින සිත් ද ඇත්තේ ය. ද්වාර පසක උපදින සිත් ද ඇත්තේ ය. ෂට් ද්වාරයෙහි ම උපදනා සිත් ද ඇත්තේ ය. විටෙක ද්වාරිකත්, විටෙක ද්වාර විමුක්තත් වන සිත් ද ඇත්තේ ය. සෑම කල්හි ම ද්වාරවිමුක්ත සිත් ද ඇත්තේ ය.

ද්විපඤ්ච විඥාන දශය ය, මහද්ගත ලෝකෝත්තර ජවන් සවිස්සය යන සිත් සතිස, එක එක ද්වාරයක පමණක් ඇති වන සිත් ය. මනෝධාතුවය යි කියනු ලබන පඤ්චද්වාරාවජ්ජනය හා සම්පටිච්ඡන දෙක පඤ්චද්වාරික සිත් ය. සෝමනස්ස සහගත සන්තීරණය, මනෝද්වාරාවජ්ජනය, කාම ජවන් එකුන් තිසය යන සිත් එක් තිස ද්වාර සයෙහි ම උපදනා සිත් ය. උපේක්ෂා සහගත සන්තීරණ දෙකය මහාවිපාක අටය යන සිත් දසය විටෙක ෂට් ද්වාරික ද විටෙක ද්වාර විමුක්ත ද වේ. ඒ සිත් තදාලම්බන කෘත්‍යයෙන් ෂට් ද්වාරයෙහි ම උපදී. ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - චුති කෘත්‍යයන්ගේ වශයෙන් උපදනා කල්හි ද්වාර විමුක්ත වේ. මහද්ගත විපාක නවය සැම කල්හි ද්වාර විමුක්ත ය.

ප්‍ර‍ශ්න

  1. සාමාන්‍යයෙන් කෙනකුට කොතෙක් ද්වාර ඇත්තේ ද?
  2. ඇසට චක්ෂුර්ද්වාරය යි කියනු යේ කුමක් හෙයින් ද?
  3. මනෝද්වාරය යනු කුමක් ද?
  4. චක්ෂුර්ද්වාරයෙහි උපදනා සිත් කොතෙක් ද?
  5. කාය ද්වාරයෙහි පමණක් උපදින සිත් කවරහු ද?
  6. ලෝභ මූල සිත් අට උපදනේ කවර ද්වාරවල ද?
  7. සෝමනස්ස සන්තීරණය උපදින්නේ කවර ද්වාර වලද?
  8. එක් ද්වාරයක පමණක් උපදින සිත් කවරහු ද?
  9. ද්වාරික ද ද්වාර විමුක්තද වන සිත් කවරහු ද?
  10. ඒ සිත් එසේ වන අවස්ථා කවරහු ද?

5. ආරම්මණ සංග්‍ර‍හය

I කොටස

“සිතට දැනෙන හසුවන දේවලට - හිතින් අල්ලා ගන්නා දේවලට ආරම්මණය” යි කියනු ලැබේ.

රූපාරම්මණය, සද්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, ඵොට්ඨබ්බාරම්මණය, ධම්මාරම්මණය කියා ද්වාර අනුව ආරම්මණ ද සයක් ඇත්තේ ය.

ද්‍ර‍ව්‍යයන්හි ඇත්තා වූ පැහැය රූපාරම්මණය ය. ඇසට පෙනෙන්නේ රූපාරම්මණය පමණෙකි. පැහැය මිස, වස්තූන් ඇසට පෙනෙන්නේ නො වේ. සෑම දෙයක ම පැහැයක් ඇත්තේ ය. එහෙත් ඉතා සියුම් ඒවායේ පැහැය අපේ ඇස්වලට නො පෙනේ.

සෝතින්ද්‍රියට හෙවත් කනට දැනෙන දෙය සද්දාරම්මණ නම් වේ.

නාසයට දැනෙන හොඳ නරක ගන්ධ ගන්ධාරම්මණ නම් වේ.

දිවට දැනෙන රස රසාරම්මණ නම් වේ.

කායින්ද්‍රියට දැනෙන තද බව - මොළොක් බව - සිසිල් බව - උණුසුම් බව යනාදිය ඵොට්ඨබ්බාරම්මණ නමි.

රූපාදි අරමුණු පස හැර සිතට දැනෙන - සිතට හසු වන සියල්ල ධම්මාරම්මණ නම් වේ. ප්‍ර‍සාද රූප - සූක්ෂ්ම රූප - චිත්ත - චෛතසික - නිර්වාණ - ප්‍ර‍ඥප්ති වශයෙන් ධම්මාරම්මණය සයාකාර වේ. ඒවා අනාගතයෙහි දත හැකි වනු ඇත. දැනට කොටස් සය නම් වශයෙන් පමණක් මතක තබා ගන්න.

අතීතය - අනාගතය - වර්තමානය - කාලමුක්තය කියා අරමුණු සතර කොටසකි. ඉපද අභාවප්‍රාප්ත දෙය “අතීතාරම්මණ” නම් වේ. මතු ඇති වන දේ “අනාගතාරම්මණ” නම් වේ. පවත්නා දෙය “වත්තමානාරම්මණ” නම් වේ. මේ කාල භේදය, ඇති වීම් නැති වීම් දෙක ඇත්තා වූ දේවලට ය. නිර්වාණ-ප්‍ර‍ඥප්ති දෙක්හි ඇති වීම්-නැති වීම් දෙක නැත. එබැවින් ඒවා තුන්කාලයෙන් එකකටවත් ඇතුළත් නො වේ. ඒවාට “කාල විමුක්තය” යි කියනු ලැබේ. (මෙය ගැඹුරු කරුණෙකි. වැඩි දුරටත් ගුරුන්ගෙන් අසා දැනගන්න.)

චක්ෂුර්ද්වාරික සිත් සසාළිසට අරමුණු වන්නේ වර්තමාන රූපාරම්මණය පමණකි. අතීතානාගත රූප චක්ෂුර්ද්වාරික සිත්වලට හසු නො වේ. එසේ ම සෝත-ඝාන-ජිව්හා-කාය ද්වාරවලට අයත් සිත්වලට වර්තමාන ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍යයෝ අරමුණු වෙති.

මනෝද්වාරික චිත්තයන්ට වනාහි කාලත්‍ර‍යට ම අයත් වන රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍ය - ධර්ම යන ෂඩාලම්බනය හා කාලවිමුක්ත වූ නිර්වාණ - ප්‍ර‍ඥප්තීහු ද අරමුණු වෙති.

ද්වාර විමුක්ත චිත්තයන්ට වනාහි අතීතානන්තරභවයෙහි මරණාසන්න ජවනයන්ට අරමුණු වූ කර්මය - කර්ම නිමිත්තය - ගති නිමිත්තය යි කියනු ලබන වර්තමාන වූ ද, අතීත වූ ද, ප්‍ර‍ඥප්ති වූ ද ෂඩාලම්බනයෝ අරමුණු වෙති.

II වන කොටස

ඉහත දක්වන ලද්දේ ද්වාරයන් ගේ වශයෙන් අනියමින් සිත්වල අරමුණුය. නියම වශයෙන් ම ඒ ඒ සිත්වලට හිමි අරමුණ මතු කියැවෙන පරිදි දත යුතු.

චක්ඛුවිඤ්ඤාණ දෙක, රූපය පමණක් අරමුණු කෙරේ. සෝත - ඝාන - ජිව්හා - කාය විඤ්ඤාණයෝ ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් අරමුණු කෙරෙති.

මනෝධාතුවය යි කියනු ලබන පඤ්චද්වාරාවජ්ජන - සම්පටිච්ඡන සිත් තුන රූපාදි අරමුණු පස අරමුණු කෙරේ.

ද්විපඤ්චවිඤ්ඤාණය හා මනෝධාතුවත් හැර ඉතිරි කාමාවචර විපාක සිත් එකොළොස ය, හසිතුප්පාදය යන සිත් දොළොසින් කාමාවචර ධර්ම අරමුණු කරනු ලැබේ. “කාමාවචර ධර්මය” යි කියනුයේ කාම සිත් සිවුපනස ය, ඒවායේ යෙදෙන චෛතසිකයෝ ය, රූප විසි අටය යන මොවුන්ට ය.

අකුසල සිත් දොළොසය, ඥාන විප්‍ර‍යුක්ත කාමාවචර ජවන් සිත් අටය යන මොවුහු ලෝකෝත්තර ධර්ම නවය හැර, ඉතිරි සියල්ල ම අරමුණු කෙරෙති. “ලෝකෝත්තර ධර්ම නවය” යි කියනුයේ ලෝකෝත්තර සිත් අටට හා නිවනට ය.

ඥාන සම්ප්‍ර‍යුක්ත කාමාවචර කුසල් සිත සතර ය, අභිඥා භාවයට පැමිණි රූපාවචර පඤ්චම ධ්‍යාන කුශලය ය යන සිත් පස අර්හත්මාර්ගය හා අර්හත් ඵලය හැර ඉතිරි සියල්ල අරමුණු කෙරේ.

ඥානසම්ප්‍ර‍යුක්ත මහා ක්‍රියා සිත් සතර ය, අභිඥා භාවයට පැමිණි රූපාවචර පඤ්චම ධ්‍යාන ක්‍රියා සිත ය. මනෝද්වාරාවජ්ජනය ය යන සිත් සයෙන් සියල්ල ම අරමුණු කරනු ලැබේ.

‘සර්වඥතාඥානය’ යි කියනුයේ ලොවුතුරා බුදුවරයන්ට ඇති වන මහා ක්‍රියා ඥාන සම්ප්‍ර‍යුක්ත සිත්වල ඇති ප්‍ර‍ඥාවට ය. ධ්‍යාන ලැබූ පමණින් ම කෙනකුට සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය නො කළ හැකි ය. සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය බලය ඇත්තේ රූපාවචර කුශල ක්‍රියා පඤ්චම ධ්‍යාන සිත් දෙකට පමණෙකි. සාමාන්‍ය පඤ්චමධ්‍යාන සිතටත් ඒ බලය නැත. ඒ බලය ලැබෙන්නට පඤ්චමධ්‍යාන සිත තවත් දියුණු කළ යුතු ය. එසේ දියුණු කළ පඤ්චමධ්‍යාන චිත්තයට “අභිඥාචිත්තය” යි කියනු ලැබේ. සෘද්ධි ප්‍රාතිහාර්ය කවරකු කළත් සැම දෙනා ම එය කරන්නේ අභිඥා චිත්තයෙනි. ලෝකෝත්තර සිත්වලට සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමේ සමත් කමක් නැත.

අරූපාවචර සිත්වල විඤ්ඤාණඤ්චායතන සිත් තුනෙන් ආකාසානඤ්චායතන චිත්තය ද, නේවසඤ්ඤා නාසඤ්ඤායතන සිත් තුනෙන් ආකිඤ්චඤ්ඤායතන චිත්තය ද අරමුණු කරනු ලැබේ. ආකාසානඤ්චායතන විඤ්ඤාණඤ්චායතන සිත් මහග්ගත බැවින් ඒවා අරමුණු කරන විඤ්ඤාණඤ්චායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන සිත් සයට “මහග්ගතාරම්මණික සිත් ය” යි කියනු ලැබේ.

රූපාවචර සිත් පසළොස ය, ආකාසානඤ්චායතන සිත් තුනය, ආකිඤ්චඤ්ඤායතන සිත් තුන ය යන මේ සිත් විසි එකෙන් කසිණාදි ප්‍ර‍ඥප්ති අරමුණු කරනු ලැබේ.

ලෝකෝත්තර සිත්වලින් නිර්වාණය අරමුණු කරනු ලැබේ.

කාමාවචර ධර්ම අරමුණු කරන සිත් විසි පහකි. මහද්ගත ධර්ම අරමුණු කරන සිත් සයකි. ප්‍ර‍ඥප්තිය අරමුණු කරන සිත් එක් විස්සකි. නිවන අරමුණු කරන සිත් අටකි. ලෝකෝත්තර ධර්ම හැර ඉතිරි සියල්ල අරමුණු කරන සිත් විස්සකි. අර්හත් මාර්ගය හා ඵලය හැර ඉතිරි සියල්ල අරමුණු කරන සිත් පසකි. සියල්ල ම අරමුණු කරන සිත් සයකි.

ප්‍ර‍ශ්න

  1. අරමුණය යනු කුමක් ද?
  2. අරමුණු කීයක් තිබේ ද?
  3. ඇසට පෙනෙන නො පෙනෙන අරමුණු කවරහු ද?
  4. කාලත්‍ර‍යට අයත් නැති අරමුණු කවරහු ද?
  5. ධම්මාරම්මණය කී ආකාර ද?
  6. චක්ෂුර්ද්වාරික සිත්වල අරමුණ කුමක් ද?
  7. මනෝද්වාරික සිත්වල අරමුණු කවරහු ද?
  8. චක්ෂුර්ද්වාරික සිත්වලට අරමුණු වන්නේ කිනම් කාලයකට අයත් දේ ද?
  9. කාලවිමුක්ත ධර්ම අරමුණු ව්නනේ කිනම් ද්වාරයක සිත්වලට ද?
  10. කාමාවචර ධර්ම පමණක් අරමුණු කරන සිත් කවරහු ද?
  11. සියල්ල ම අරමුණු කරන සිත් කවරහු ද?

6. වස්තු සංග්‍ර‍හය

I කොටස

සත්ත්ව ශරීරවල පිහිටි සිත් උපදනා ස්ථානවලට මේ ධර්මයෙහි “වස්තු” යන නාමය ව්‍යවහාර කරනු ලැබේ.

චක්ෂු වස්තුව ය, ශ්‍රෝත්‍ර‍ වස්තුව ය, ඝ්‍රාණ වස්තුව ය, ජිහ්වා වස්තුව ය, කාය වස්තුව ය, හෘදය වස්තුව ය කියා වස්තු හෙවත් සිත් උපදනා ස්ථාන සයෙකි.

චක්ෂු වස්තුවය යනු ද්වාර සංග්‍ර‍හයෙහි චක්ෂුර් ද්වාර යයි කියැවුණු චක්ෂුඃ ප්‍ර‍සාදය ය. ශ්‍රෝත්‍ර‍ - ඝ්‍රාණ - ජිහ්වා - කාය වස්තූහු ඒ ඒ ඒ ප්‍ර‍සාද රූපයෝ ම ය.

වස්තූන්ගෙන් විශේෂ දෙය හෘදය වස්තුව ය. එය වනාහි හෘදය කෝෂයෙහි පිහිටි අඩ පතක් පමණ ලේ ආශ්‍ර‍ය කර ගෙන පවත්නා වූ එක්තරා සූක්ෂ්ම ධාතුවකි. එය ඇසට නො පෙනෙන - අතට අසු නොවන ඉතා සියුම් දෙයකි. මළවුන් ගේ හෘදය කෝෂයෙහි එය නැත. එය වෛද්‍ය ශාස්ත්‍ර‍යට හසුවන දෙයක් ද නොවේ. එයට වස්තු රූපය යන නාමය ද ව්‍යවහාර වේ. හෘදය කෝෂයේ ලෙස ඉන් පිටතට ගලා යන මුත් සිත් ඇති වීමට ආධාර වන ඒ වස්තු රූපය හෘදය කෝෂයෙන් පිට වී යන ලෙය හා එක් වී පිට වී නො යේ. සිත්වලින් බොහෝවක් ම උපදින්නේ හෘදය වස්තුවෙහි ය.

කාම ලෝකයේ ඉන්ද්‍රිය සම්පූර්ණ සත්ත්වයන්ට වස්තු සය ම ඇත්තේ ය. රූපලෝකයේ බ්‍ර‍හ්මයනට ඝාන - ජිව්හා - කාය වස්තු නැත්තේ ය. අරූපී සත්ත්වයනට එක වස්තුවකුදු නැත්තේ ය.

රූප ලෝකයේ ඝ්‍රාණ - ජිහ්වා - කාය වස්තූන් නැතය යි කීමෙන් රූපාවචර බ්‍ර‍හ්මයනට නාසය - දිව හා කය නැතය යි නො ගත යුතු යි. ඔවුනට නැත්තේ සිත්වලට නිඃශ්‍ර‍ය වන ඝ්‍රාණ - ජිහ්වා - කාය ප්‍ර‍සාදයන් ය. බුද්ධ දර්ශන - ධර්ම ශ්‍ර‍වණාදි විශුද්ධියට උපකාර වන කරුණුවලට චක්ෂු වස්තුව හා ශ්‍රෝත්‍ර‍ වස්තුව ප්‍රයෝජන ය. ඝ්‍රාණාදි වස්තු තුනෙන් කාම රසාස්වාදයට මිස අනිකකට ප්‍රයෝජන නැත. කාම විරාග භාවනා කුශල බලයෙන් උපන් බ්‍ර‍හ්මයනට ඝ්‍රාණාදි වස්තු තුන ඇති නොවේ. බුද්ධ දර්ශන - ධර්ම ශ්‍ර‍වණාදිය පිණිස චක්ෂු - ශ්‍රෝත්‍ර‍ වස්තු දෙක ඇති වේ.

වස්තුවක් ඇසුරු කර ම උපදනා සිත් ය, වස්තුවක් ඇසුරු කොටත් නො කොටත් උපදනා සිත් ය, වස්තුවක් ඇසුරු නො කර ම උපදනා සිත් ය කියා සිත් තුන් කොටසක් ඇත්තේ ය.

චක්ඛු විඤ්ඤාණ දෙක චක්ෂු වස්තුව ඇසුරු කොට ම උපදී. සෝත - ඝාන - ජිව්හා - කාය විඤ්ඤාණයෝ ද ඒ වස්තූන් ඇසුරු කර ම උපදිති.

පඤ්චද්වාරාවජ්ජනය ය, සම්පටිච්ඡන දෙක ය, සන්තීරණ තුන ය, මහාවිපාක අට ය, ද්වේෂ මූල දෙසිත ය, සෝවාන් මාර්ග චිත්තය, හසිතුප්පාදය ය, රූපාවචර සිත් පසළොස ය යන සිත් තිස් තුන හෘදය වස්තුව ඇසුරු කොට ම උපදී.

කාමාවචර කුසල් සිත් අටය, අරූප කුසල් සතරය, ලෝභ මූල සිත් අටය, මෝහ මූල සිත් දෙක ය, මනෝද්වාරාවජ්ජනය ය, මහා ක්‍රියා අටය, අරූප ක්‍රියා සතරය, ප්‍ර‍ථම මාර්ගය හැර ලෝකෝත්තර සිත් සතය යන සිත් සතළිස් දෙක: කාම - රූප ලෝක දෙක්හි උපදනා කල්හි හෘදය වස්තු රූපය ඇසුරු කොටත්, අරූප ලෝකයෙහි උපදනා කල්හි වස්තුවක් ඇසුරු නො කොටත් උපදී.

අරූප විපාක සතර, වස්තුවක් ඇසුරු නො කොට ම උපදී.

II වන කොටස

වස්තුවක් ඇසුරු කොට ම උපදනා සිත් සතළිස් තුනෙකි. වස්තුවක් ඇසුරු කොටත් නො කොටත් උපදනා සිත් සතළිස් දෙකකි. වස්තුවක් ඇසුරු නො කොට ම උපදනා සිත් සතරකි.

සතළිස් තුනක් සිත් වස්තුවක් ඇසුරු කොට ම උපදින්නේ ඒ සිත් අරූප ලෝකයෙහි නූපදනා බැවිනි.

ඒ සිත් අතුරෙන් ද්විපඤ්චවිඤ්ඤාණ - පඤ්චද්වාරාවජ්ජන - සම්පටිච්ඡන - සන්තීරණ - මහා විපාකයන් අරූප ලෝකයෙහි නූපදනේ ඒවා උපදනා ද්වාර හා ඒ සිත්වලින් සිදු කරන කෘත්‍යයන් එහි නැති බැවිනි.

ද්වේෂ මූල සිත් එහි නූපදනේ ධ්‍යාන ලාභින් කෙරෙහි ඒ සිත් නූපදනා බැවිනි.

හසිතුප්පාද චිත්තය එහි නැත්තේ අරූපී සත්ත්වයන් ගේ සිනාවක් නැති බැවිනි.

සෝවාන් මාර්ග චිත්තය එහි නූපදනේ කන් නැත්තා වූ අරූපී සත්ත්වයන්ට අනුන්ගෙන් දහම් ඇසිය නො හෙන හෙයිනි. ලොවුතුරා බුදුවරයන්ටත්, පසේ බුදුවරයන්ටත් මිස, සෙස්සන්ට අනුන්ගෙන් දහම් ඇසීමක් නො කොට ස්වශක්තියෙන් සෝවාන් මාර්ගය ඉපදවිය නො හැකිය. අරූප ලෝකයෙහි බුදු - පසේබුදුවරයෝ නූපදිති. අරූපී සත්ත්වයනට අනුන් ගෙන් යමක් අසා ගැනීමට ක්‍ර‍මයක් නැත. සෝවාන් වූ තැනැත්තාට අනුන්ගේ උපකාරයක් නැතිව ඉතිරි මගඵලවලට පැමිණිය හැකිය. සමහර විට කාම - රූප ලෝකවලදී සෝවාන් වූවෝ අරූප ලෝකයෙහි උපදිති. ඔවුහු එහිදී ම සකෘදාගාමි - අනාගාමි - අර්හත් යන මාර්ග ඵලවලට පැමිණ පිරිනිවෙති.

ප්‍ර‍ශ්න

  1. “වස්තුව” යි කියනුයේ කුමකට ද?
  2. වස්තු කොතෙක් ද?
  3. චක්ෂු වස්තුවය කියනුයේ කුමකට ද?
  4. හෘදය වස්තුවය කියනුයේ කුමකට ද?
  5. කාම - රූප - අරූප ලෝක තුනේ ඇති නැති වස්තු කවරහු ද?
  6. ඇතැම් වස්තූන් රූප ලෝකයෙහි නැත්තේ කුමක් නිසා ද?
  7. වස්තුවක් ඇසුරු කර ම උපදනා සිත් කවරහු ද?
  8. වස්තුවක් කිසි කලෙක ඇසුරු නොකරන සිත් කවරහු ද?
  9. ද්වේෂ මූල සිත් අරූප ලෝකයේ නැත්තේ කුමක් නිසා ද?
  10. සෝවාන් මාර්ගය අරූප ලෝකයේ නො ලැබෙන්නේ කුමක් නිසා ද?

මෙතෙකින් තෘතීය ප්‍ර‍කීර්‍ණක පරිච්ඡේදය නිමියේ ය.

4. චතුර්ථ පරිච්ඡේදය

1. චිත්ත වීථි

ඇසට හමුවන දෙය හරියට දැන ගැනීම ය, කනට එන ශබ්දයන් හරියට දැන ගැනීම ය, නාසයට - දිවට - කයට පැමිණෙන ගන්ධයන් - රසයන් - ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් හරියට දැන ගැනීම ය, තමා විසින් වචනයක් කීම ය, අනුන් කියන වචනයේ තේරුම දැන ගැනීම ය, ශරීරාවයවයන් එසවීම ය, පහත් කිරීම ය, එහා මෙහා කිරීම ය, යෑම ය, ඊම ය, දීම ය, ගැනීම ය යනාදි කරුණුවලින් එකකුදු එක් සිතකින් සිදු නො වේ. ඒ එක් එක් කරුණක් සිදුවීමට ක්‍ර‍මානුකූල ව සිත් පෙළක් ඇති විය යුතු ය. ඒ ඒ කරුණු සිදු කිරීම් වශයෙන් ඇති වන්නා වූ චිත්ත පරම්පරාවලට, සිත් වැල්වලට “චිත්තවීථිය” යි කියනු ලැබේ. කොටින් කියතහොත් එක් එක් කරුණක් සම්බන්ධයෙන් ඇති වන සිත් වැල් චිත්තවීථිය යි කිය යුතු ය.

සිත ඉතා සියුම් ය. එය ඇසට පෙනෙන දෙයක් ද නොවේ. සුළඟ - සීතල - උෂ්ණය යන මේවා ඇසට නො පෙනෙතත් කයට දැනේ. සිත එසේ කයට දැනෙන - හසුවන දෙයක් ද නො වේ. ඉතා ඉක්මනින් ඉපිද බිඳී යන්නක් බැවින් සිත පරීක්ෂණයකට හසුකර ගත හැකියක් ද නො වේ. කරුණු මෙසේ හෙයින් සිතේ සැටි සොයා ගැනීම, ඉතා ම දුෂ්කර ය. සිතේ සැටි දැන ගැනීමට ඉතා ම දුෂ්කර වී ඇත්තේ එය දැන ගැනීමේ උපකරණයත් එයම වීම ය. කපන උපකරණය වූ පිහියෙන් අනිකක් කැපිය හැකි ය. ඒ පිහිය ම එයින් නො කැපිය හැකි ය. එමෙන් දැන ගැනීමේ උපකරණය වූ සිතට ඒ සිතේ සැටි නොදත හැකිය. එබැවින් සිත පිළිබඳ උගෙනීමක් කර නැති සාමාන්‍ය ජනයාට චිත්තවීථිය කියා දෙයක් ඇති බව පවා නො දැනේ. සිත ගැන ඉගෙනීම් කරන - විමසීම් කරන ජනයාට වුව ද මේවා මෙසේ විය යුතු ය කියා අනුමාන වශයෙන් සිත ගැන දැනුමක් ඇති වෙනවා මිස, ඇසට පෙනීම වැනි ප්‍ර‍ත්‍යක්ෂ දැනුමක් සිත ගැන ඇති නො වේ. සිත ගැන දැන ගැනීම ඉතා ප්‍රයෝජන බැවින් අනුමාන වශයෙන් වුව ද දැනීමක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න.

2. පරමාර්ථ ධර්මයන්ගේ ආයුෂ

චිත්තවීථි උගන්නා තැනැත්තා විසින් මුලින් ම කළ යුත්තේ, සිත්වල හා රූපවල ආයුෂය දැන ගැනීම ය. උපදනා කාලය ය, පවත්නා කාලය ය, නැසෙන කාලය ය කියා සිත්වලට හා රූපවලට අවස්ථා තුනක් ඇත්තේ ය. ඉතා කෙටි බැවින් ඒ කාලවලට ක්ෂණ යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. උපදනා කාලයට උත්පාදක්ෂණය කියා ද, පවත්නා කාලයට ස්ථිතික්ෂණය කියා ද, නැසෙන කාලයට භඞ්ගක්ෂණය කියා ද ව්‍යවහාර කරනු ලැබේ. සිතට අයත් උත්පාද - ස්ථිති - භඞ්ග යන කාල තුන එකතු කොට එයට චිත්තක්ෂණය යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. චිත්තක්ෂණය යන්නෙහි තේරුම, සිතක කාලය යනු යි. සිත යම් පමණ කාලයකින් උපදී නම් එපමණ ම කාලයක් පැවතී, එපමණ ම කාලයකින් නිරුද්ධ වේ. ඒ කාල තුනෙහි ප්‍ර‍මාණයන් එකිනෙකට අඩු වැඩි කමක් නැත්තේ ය. ඒ චිත්තක්ෂණය ඉතා කෙටි කාලයෙකි. එය ඇසිපිය හෙළන කාලයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණවත් නොවන කාලයෙකි. මෙය තේරුම් ගැනීමට ඔබට කලක් ගතවිය හැකි ය.

රූපයකට චිත්තක්ෂණ දාහතක් ආයු ඇත්තේ ය. එය කුඩා ක්ෂණ පනස් එකකි. එහි පළමු වන ක්ෂණය රූපයේ උත්පාදක්ෂණය ය. පනස් එක් වන ක්ෂණය රූපයේ භඞ්ගක්ෂණය ය. මැද ක්ෂණ සතළිස් නවය රූපයාගේ ස්ථිතික්ෂණය ය. සිතෙහි මෙන් රූපයාගේ උත්පාදාදි ක්ෂණ තුන සමාන නැත. රූපයාගේ ස්ථිතික්ෂණය දිග ය. චිත්තක්ෂණ සතළොසක් ආයුෂ නැති රූප කීපයක් ද ඇත්තේ ය. ඒවා අප්‍ර‍ධාන රූපයෝ ය.

මාස ගණන් - අවුරුදු ගණන් පවත්වා වස්තූන් අප ඉදිරියේ පිරී ඇති බව දක්නා ඔබට, “රූපයක ආයුෂ චිත්තක්ෂණ සතළොසකැයි” කීම පිළිගත නො හෙන කරුණක් විය හැකිය. එය තේරුම් ගත හැකි වනු පිණිස රූප ගැන විස්තරයක් කරනු ලැබේ.

දුර සිට බලන කල්හි අපට එක් දෙයක් සේ පෙනෙන වැලි ගොඩක් එක් දෙයක් නොව, වැලි කැට සමූහයකි. අපට එක් එක් දෙයක් සේ පෙනෙන වස්තු සියල්ලම වැලි ගොඩ සේ ම කුඩා වස්තු සමූහයෝ ය. ඉතා කුඩා දෙය සැටියට සැලකෙන අබ ඇටය වුව ද එක් දෙයක් නොව කුඩා ද්‍ර‍ව්‍ය සමූහයකි. අපට පෙනෙන සියලු ම වස්තූන් සෑදී තිබෙන්නේ රූප කලාපවලිනි. රූප කලාපය ඔබට රූප පරිච්ඡේදයේ දී දත හැකි වනු ඇත. රූප කලාපය සියලු ම වස්තූන්ගේ මූලය ය. එය දික් කලක් පවත්නා දෙයක් නොවේ. එහි පරමායුෂය චිත්තක්ෂණ දාහතය. ඇසිපිය හෙළන්නට ගත වන කාලය එකිනෙකට පසු ව රූප කලාප දහස් ගණනක් ඉපිද බිඳී යෑමට ප්‍ර‍මාණවත් ය. අබ ඇටයක් පමණ වස්තුවක රුප කලාප කෝටි ගණනක් ඇත්තේ ය. අබ ඇටය එක් දෙයක් නොව, රූප කලාප කෝටි ගණනක සමූහයක් බව දත යුතු ය. අපට පෙනෙන වස්තූන්හි ඇති රූප කලාප චිත්තක්ෂණ සතළොසකින් නැති වී යන නමුත් ඒ වස්තුවල අමුත්තක් නොපෙනෙන්නේ කරුණු දෙකක් නිසාය. එනම්: එක වස්තුවක රූප කලාප සියල්ල ම එකවර නො බිඳීම එක් කරුණකි. බිඳෙන රූප කලාප වෙනුවට ඒ ඒ තැන්වල ම අලුත් රූප කලාප පහළ වීම එක් කරුණකි.

අබ ඇටයක් පමණ වස්තුවක ද, රූපයක සම්පූර්ණ ආයුෂය වූ කුඩා ක්ෂණ එක් පනසින් දෙවන ක්ෂණයට පැමිණි රූප කලාප ලක්ෂණ ගණනක් ඇත්තේ ය. එසේ ම තුන්වන ක්ෂණයට පැමිණි රූප කලාප ද ලක්ෂ ගණනක් ඇත්තේ ය. එසේ ම පනස් වන ක්ෂණය දක්වා ඇති සියලු ම ක්ෂණවලට පැමිණ ඇති රූප කලාප ලක්ෂ ගණන් ඇත්තේ ය. සෑම රූප කලාපයක් ම බිඳෙන්නේ පනස් එක් වන ක්ෂණයේ දී ය. පනස් එක් වන ක්ෂණයට පැමිණ රූප බිඳෙන විට දෙවන ක්ෂණයේ පටන් සතළිස් නව වැනි ක්ෂණය දක්වා ඇති ක්ෂණවලට පැමිණ ඇති රූප කලාප සියල්ල ම ඉතිරි වී ඇත්තේ ය. එබැවින් චිත්තක්ෂණ සතළොසකින් රූප බිඳි බිඳී යාම නිසා වස්තුවල අපට පෙනෙන වෙනසක් ඇති නො වේ. මේ කාරණය හොඳින් තේරුම් ගත යුතු ය.

එක වස්තුවක ඇති වයසින් නොයෙක් ප්‍ර‍මාණ වන රූප සියල්ල ම ගැන එකවර චිත්ත වීථි ඇති වන්නේ නො වේ. චිත්ත වීථි ඇති වන්නේ එක වස්තුවක ඇත්තා වූ වයසින් සමාන වූ රූපසමූහයක් අරමුණු කර ගෙන ය.

3. ආරම්මණ භේදය

අතිමහන්තාරම්මණය, මහන්තාරම්මණය, පරිත්තාරම්මණය, අතිපරිත්තාරම්මණය” යි පඤ්චද්වාරයට ගොදුරු වන අරමුණු සතර ආකාර වේ. විභූතාරම්මණය, අවිභූතාරම්මණය කියා මනෝද්වාරයට ගොදුරු වන අරමුණු දෙකොටසකි. මෙසේ ෂට් ද්වාරයට ගොදුරු වන අරමුණු සයාකාර වේ.

විශාලත්වය නිසා හෝ ආලෝකය හොඳින් ඇති බව නිසා හෝ සමීපයෙහි තිබීම නිසා හෝ ඉතා ම ප්‍ර‍කට අරමුණ අතිමහන්ත නම් වේ. අතිමහන්තාරම්මණය තරමට ප්‍ර‍කට නැති අරමුණ මහන්ත නම් වේ. මහන්තාරම්මණය තරමට ප්‍ර‍කට නැති අරමුණ පරිත්ත නම් වේ. අප්‍ර‍කට අරමුණ අතිපරිත්ත නම් වේ.

රූපය එහි උත්පාදක්ෂණයේ දී ද්වාරයන්හි නො ගැටෙන්නේ ය. ද්වාරයන්හි ගැටෙන්නේ ස්ථිතියට පැමිණි රූපය ය. ඉපිද එක් චිත්තක්ෂණයක් (කුඩා ක්ෂණ තුනක්) ඉක්ම දෙවන චිත්තක්ෂණයෙහි ද්වාරයන්හි ගැටෙන අරමුණ අතිමහන්තාරම්මණය ය. චිත්තක්ෂණ දෙක තුනක් ම ඉක්ම ද්වාරයන්හි ගැටෙන අරමුණ මහන්ත නම් වේ. චිත්තක්ෂණ සතර පහ සය සත අට නවය ඉක්ම ද්වාරයෙහි ගැටෙන අරමුණු පරිත්ත නම් වේ. චිත්තක්ෂණ දශයේ පටන් පසළොස දක්වා ඉක්ම ද්වාරයෙහි ගැටෙන ආරම්මණය අතිපරිත්ත නම් වේ.

අතිමහන්තාරම්මණයෙහි වීථි සිත් බොහෝ ගණනක් උපදී. මහන්තාරම්මණයෙහි එයට අඩු ගණනක් ද පරිත්තාරම්මණයෙහි ඊට අඩු ගණනක් ද, වීථි සිත් උපදී. අතිපරිත්තාරම්මණයෙහි භවාඞ්ග චලනය පමණක් වේ. වීථි සිත් නූපදී.

වීථි

වීථි වනාහි පඤ්චද්වාර වීථි - මනෝද්වාර වීථි වශයෙන් දෙකොටසක් වෙයි. පඤ්චද්වාර වීථීහු ද, චක්ෂුර්ද්වාර වීථි - ශ්‍රෝත්‍ර‍ද්වාර වීථි - ඝ්‍රාණද්වාර වීථි - ජිහ්වාද්වාර වීථි - කායද්වාර වීථි යි පස් කොටසක් වෙති. චක්ෂුර්ද්වාර වීථීහු ද, අතිමහන්තාරම්මණ වීථි - මහන්තාරම්මණ වීථි - පරිත්තාරම්මණ වීථි - අතිපරිත්තාරම්මණ වීථි යි සතර කොටසක් වෙති. චක්ෂුර්ද්වාරයෙහි අතිමහන්තාරම්මණ වීථි එකකි. මහන්තාරම්මණ වීථි දෙකකි. පරිත්තාරම්මණ වීථි සයකි. අතිපරිත්තාරම්මණ වීථි සයෙකි. සියල්ල පසළොසෙකි. ශ්‍රෝත්‍ර‍ - ඝ්‍රාණ - ජිහ්වා - කායද්වාර වීථිහු ද, එසේ ම පසළොස බැගින් වෙති. පඤ්චද්වාර වීථි සියල්ල පන් සැත්තෑවෙකි.

මූල චිත්තය.

සත්ත්වයාට මරණාසන්නයේ දී ඔහු කළ කර්මයක් හෝ සිහි වෙයි. කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙයි. මරණාසන්නයේ දී සිතට වැටහුණු දෙය අරමුණු කොට දෙවන ජාතියේ පළමු වන සිත පහළ වේ. එයට “ප්‍ර‍තිසන්ධි චිත්තය” යි කියනු ලැබේ. ස්වභාව ධර්මය පරිදි ඒ ප්‍ර‍තිසන්ධි චිත්තය නිරුද්ධ වූ පසුත් ඒ සන්තානයේ මරණාසන්න චිත්තයට අරමුණු වූ දෙය අරමුණු කරන ප්‍ර‍තිසන්ධි චිත්තයට සමාන සිතක් මරණය තෙක් ම නැවත නැවත ඇති වේ. සිත් පරම්පරාව නො සිඳී සත්ත්වයා ජීවත් වන්නේ ඒ සිත් පරම්පරාව නිසා ය. භවයාගේ පැවැත්මට කාරණය වන බැවින් ඒ සිත්වලට ‘භවාඞ්ග සිත්ය යි කියනු ලැබේ. භවාඞ්ග චිත්තය අන් සිතක් නැති සෑම වේලේ ම සත්ත්වයන් කෙරෙහි ඇති වන නමුත් එබඳු සිතක් ඇති වන බව අපට නොදැනේ. ඒ භවාඞ්ග චිත්තය සත්ත්වයාගේ මූල චිත්තය ය. අලුත් අලුත් අරමුණු ගන්නා වීථි පහළ වන්නේ භවාඞ්ග සිත් පරම්පරාවේ අගිනි.

4. චක්ෂුර්ද්වාරික අතිමහන්තාරම්මණ වීථිය

ඉපද එක් චිත්තක්ෂණයක් ගත වූ රූපයක් චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටුණ හොත්, එකෙණෙහි ම එය හෘදය වස්තුවෙහි පවත්නා භවාඞ්ග චිත්තයෙහි ද ගැටේ. එයින් භවාඞ්ග චිත්තයෙහි යම් කිසි අමුත්තක් සිදු වේ.

එය සෙලවීමක් වැනි ය. එබැවින් එයට “භවාඞ්ග සෙලවීමය” යි කියනු ලැබේ. ඒ භවාඞ්ග චිත්තය නිරුද්ධ වීමෙන් පසු එයට අනතුරු ව ඇති වන භවාඞ්ග චිත්තය ද, රූපාරම්මණයාගේ ගැටීම ලබමින් සෙලවෙන්නා වූ ආකාරයෙන් ම ඉපිද නිරුද්ධ වේ. ඉන් පසු භවාඞ්ග සිත් ඇති වීම නැවතී, ගැටුණු රූපාරම්මණය මෙනෙහි කරන පඤ්චද්වාරාවජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරු ව ඒ රූපය දක්නා චක්ෂුර් විඥානය ඉපිද නිරුද්ධ වේ. අනතුරු ව ඒ රූපාරම්මණය පිළිගන්නා සම්පටිච්ඡන චිත්තය ද, රූපාරම්මණයේ සැටි විමසන සන්තීරණ චිත්තය ද, රූපාරම්මණයේ සැටි විනිශ්චය කරන්නා වූ ව්‍යවස්ථාපන චිත්තය ද, පිළිවෙළින් ඉපිද නිරුද්ධ වේ.

එයට අනතුරු ව ඒ රූපාරම්මණය ව්‍යවස්ථාපන චිත්තයෙන් විනිශ්චය කර ගත් පරිදි අරමුණු කරමින් එකුන් තිස් කාම ජවනයන් අතුරෙන් යම් කිසි එක් සිතක් පිළිවෙළින් සත් වරක් ජවන කෘත්‍යයෙන් ඉපද නිරුද්ධ වේ. අනතුරු ව එකොළොස් තදාලම්බන චිත්තයන් අතුරෙන් යම් කිසි එක් සිතක් ජවන චිත්තයෙන් ගත් පරිදි ම ඒ රූපාරම්මණය අරමුණු කරමින් දෙවරක් ඉපද නිරුද්ධ වේ. දෙවන තදාරම්මණ චිත්තය නිරුද්ධ වන කල්හි චක්ෂුඃ ප්‍ර‍සාදයේ ගැටුණු රූපාරම්මණය ද චිත්තක්ෂණ සතළොස වූ ආයුෂය ගෙවී යෑමෙන් නිරුද්ධ වේ. ඉන් පසු සිරිත් පරිදි නැවත භවාඞ්ග සිත් ඇතිවන්නට පටන් ගනී. පඤ්චද්වාරාවජ්ජන චිත්තයෙහි පටන් දෙවන තදාරම්මණ චිත්තය දක්වා පිළිවෙළින් චක්ෂුඃ ප්‍ර‍සාදයේ ගැටුණු රූපය අරමුණු කොට උපන්නා වූ සිත් දාහතර චක්ෂුර්ද්වාරික අතිමහන්තාරම්මණ වීථිය ය.

පඤ්චද්වාර වීථි හා වර්තමාන රූපයන් අරමුණු කොට උපදනා මනෝද්වාර වීථීන් ද දැක්වීමේ දී ඒ රූපයන් උපන් තැන පටන් ඇති වූ සිත් පිළිවෙළ දැක්විය යුතු ය. කියන ලද අතිමහන්තාරම්මණ වීථිය ඇති වන්නේ ඉපිද එක් චිත්තක්ෂණ කාලයක් ඉක්ම ගිය රූපය ප්‍ර‍සාදයේ ගැටීමෙනි. රූපාරම්මණය ඉපද ප්‍ර‍සාදයෙහි ගැටීමට මත්තෙන් ඉකුත් වූ සුළු කාලයේ දී මේ වීථිය ඇති වූ පුද්ගලයා ගේ සන්තානයෙහි භවාඞ්ග චිත්තයක් ඇති විය. එහෙත් එහි කියන ලද රූපාරම්මණය නො ගැටිණ. රූපාරම්මණයේ ගැටීම නො ලබා ඉක්ම ගිය ඒ භවාඞ්ග චිත්තය අතීත භවාඞ්ග යන නාමයෙන් හඳුන්වනු ලැබේ. රූපාරම්මණය ගැටීම නිසා සෙලවෙන්නාක් මෙන් ඇති වූ භවාඞ්ග චිත්තය භවාඞ්ග චලන යන නාමයෙන් හඳුන්වනු ලැබේ. එයට අනතුරු ව රූපාරම්මණයා ගේ ගැටීම ලබමින් උපදනා භවාඞ්ග චිත්තයෙන් භවාඞ්ග පරම්පරාව සිඳී යන බැවින් ඒ සිතට භවාඞ්ගුපච්ඡේදය යි නම් කර තිබේ. ඒවා ද සමග වීථිය කිය යුත්තේ මෙසේ ය. ඔබට වීථිය ඉගෙනීම පහසු වනු පිණිස මෙය කට පාඩම් කර ගන්න.

අතීත භවඞ්ගය, භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡේදය, පඤ්චද්වාරාවජ්ජනය, චක්ඛු විඤ්ඤාණය, සම්පටිච්ඡනය, සන්තීරණය, වොත්ථපනය, ජවන සතය, තදාරම්මණ දෙකය යන මේ සිත් පිළිවෙළ චක්ෂුර්ද්වාරික අතිමහන්තාරම්මණ වීථි නම් වේ.

5. වීථි සටහන්

චිත්ත වීථි ලෙහෙසියෙන් සිතට ගත හැකි වීමට වීථි සටහන් ප්‍රයෝජනය. වීථිසටහන් කිරීමේ දී සිතෙහි උත්පාද - ස්ථිති - භඞ්ග යන ක්ෂණ තුන දැක්වීමට බින්දු තුනක් යොදති. ඒ බින්දුවලට උඩින් හෝ යටින් එක් එක් අකුරකින් සිත්වල නම් සටහන් කරති. සිත් හැඳින්වීමට යොදන අකුරු මෙසේ ය.

අතීත භවාඞ්ග - තී

භවාඞ්ග චලන -

භවාඞ්ගුපච්ඡේද -

පඤ්චද්වාරාවජ්ජන -

චක්ඛුවිඤ්ඤාණ -

සම්පටිච්ඡන - සං

සන්තීරණ -

වොත්ථපන - වො

ජවන -

තදාරම්මණ -

චක්ෂුර්ද්වාරික අතිමහන්තාරම්මණ වීථි සටහන

තී
ооо
1

ооо
2

ооо
3

ооо
4

ооо
5
සං
ооо
6

ооо
7
වො
ооо
8

ооо
9

ооо
10

ооо
11

ооо
12

ооо
13

ооо
14

ооо
15

ооо
16

ооо
17

ооо
..

මේ යටින් 17 දක්වා අඞ්ක යොදා ඇත්තේ රූපයාගේ ආයුෂය වන චිත්තක්ෂණ සතළොස දැක්වීමට ය. මේ සටහනෙහි 1, 2, 3 යන අඞ්ක ඇති සිත් තුන ම භවාඞ්ග සිත් ය. ඒවායින් ප්‍ර‍සාදයෙහි ගැටුණ රූප අරමුණු නො කරනු ලැබේ. සැම තන්හි භවාඞ්ග චිත්තයන්ගේ අරමුණ කර්මය - කර්ම නිමිත්ත - ගති නිමිත්ත යන තුනෙන් එකක් ය. 1 වන අඞ්කයට උඩින් දැක්වෙන භවාඞ්ග චිත්තය ප්‍ර‍සාදයෙහි ගැටෙන රූපය උපදනා අවස්ථාවේ දී වීථිය ඇති වන පුද්ගලයාගේ සන්තානයෙහි ඇති වූ සිත දැක්වීමට ය. ඉපද එක් චිත්තක්ෂණයක් ඉක්ම ගිය රූපාරම්මණය ප්‍ර‍සාදයෙහි ගැටුණේ භවාඞ්ග චලනයාගේ උත්පාදක්ෂණයෙහි දී ය. ඒ රූපය අරමුණු කොට පළමුවෙන් ඇති වන චිත්තය පඤ්ච - ද්වාරාවජ්ජනය ය. පඤ්චද්වාරාවජ්ජනයේ පටන් දෙවන තදාරම්මණය දක්වා සිත් ඇති දාහතර ප්‍ර‍සාදයෙහි ගැටුණු රූපය අරමුණු කොට උපදනා සිත් ය.

ඒ සිත් තුදුසෙන්, පඤ්චද්වාරාවජ්ජනයෙන් කෙරෙන්නේ සිත් පරම්පරාව ප්‍ර‍සාදයේ ගැටුණු රූපාරම්මණය දෙසට හැරවීම ය. රූපය දක්නේ චක්ඛුවිඤ්ඤාණය ය. වර්ණ මාත්‍ර‍ය දැක චක්ඛුවිඤ්ඤාණය නිරුද්ධ වන නිසා එය ඇති වූ පමණින් ම ප්‍ර‍සාදයෙහි ගැටුණු රූපය පිළිබඳ දැනුම සම්පූර්ණ නො වේ. එය සම්පූර්ණ කිරීම පිණිස චක්ඛුවිඤ්ඤාණය නිරුද්ධ වනු සමග ම එයින් දුටු රූපාරම්මණය ගනිමින් සම්පටිච්ඡනය උපදී. සම්පටිච්ඡනය නිරුද්ධ වනු සමගම එයින් රූපාරම්මණය විමසීම් වශයෙන් සන්තීරණය උපදී. සන්තීරණය නිරුද්ධ වනු සමග ම ඒ විමසීම අනුව විනිශ්චය කරන ව්‍යවස්ථාපන චිත්තය උපදී. ව්‍යවස්ථාපනය නිරුද්ධ වූ පසු එයින් විනිශ්චය කළ පරිදි රූපාරම්මණයේ සැටි හොඳින් ගනිමින් ජවන චිත්තය සත් වරක් ම උපදී. අරමුණ හොඳින් ම ගන්නා සිත ජවනය ය. සත් වන ජවනයාගේ නිරෝධයෙන් පසුත් රූපාරම්මණය චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටී පවත්නා බැවින් ජවනයෙන් ගත් පරිදි, ඒ ආරම්මණය ගනිමින් තදාරම්මණ සිත් දෙකක් උපදී. රූපය දැකීම සම්පූර්ණ කරන්නේ ජවන චිත්තයෙනි. තදාරම්මණය එතරම් ප්‍රයෝජනයක් ඇති සිතක් ද නො වේ. එය කාම සත්ත්වයන්ට මිස, රූපාරූප ලෝකවල සත්ත්වයනට උපදින සිතක් ද නො වේ. බ්‍ර‍හ්මයනට තදාලම්බනයක් නැති ව ම රූප දර්ශනාදිය අඩුවක් නැති ව සිදු වීමෙන්, තදාලම්බනයෙන් එතරම් වැඩක් නැති බව තේරුම් ගත යුතු ය.

මේ වීථියෙහි තම තමා අයත් කෘත්‍යය සිදු කරමින් ඉපද නිරුද්ධ වන පඤ්චද්වාරාවජ්ජනාදි සිත් ඒ ඒ කෘත්‍යය සිදු කිරීම හැර අන් කිසිවක් දන්නේ නො වේ. මේ වීථිය ප්‍ර‍කට කිරීම පිණිස අඹ උපමාවක් දක්වා තිබේ. ඒ මෙසේ ය:-

පුරුෂයෙක් පැසුණු ගෙඩි ඇති අඹ ගසක් යට නිදයි. ඔහුගේ කන සමීපයට ඉදුණු අඹ ගෙඩියක් වැටෙයි. එහි හඬින් ඔහු අවදි වෙයි. ඇස හැර බලයි. ඔහු අඹ ගෙඩිය අතට ගනී. ඉදුණු එකක් දැයි බැලීමට අඹ ගෙඩිය ඔබයි. ඉදුණු එකක් බව නිශ්චය කර ගැනීමට නැවත සිඹ බලයි. ඉක්බිති එය අනුභව කරයි. කටේ ගෑවී ඇති ඉතුරු හරිය කෙළත් සමග ගිලී. ඒ සියල්ල කොට නැවත පෙර සේ ම නිදයි.

මේ උපමාවෙහි පුරුෂයා නින්දට වැටී සිටීම මෙන් භවාඞ්ග චිත්තයන් ඇති වෙමින් තුබූ කාලය දත යුතුය. අඹ ගෙඩිය වැටීම මෙන් චක්ෂුඃප්‍ර‍සාදයෙහි රූපාරම්මණය ගැටීම දත යුතු ය. පුරුෂයා අවදි වීම මෙන් ආවර්ජන චිත්තය දත යුතු ය. ඇස හැර බැලීම මෙන් චක්ෂුර්විඥානය දත යුතු ය. අඹ ගෙඩිය අතට ගැනීම මෙන් සම්පටිච්ඡනය දත යුතු ය. ඉදුණු එකක් ද කියා දැන ගැනීමට අත තද කිරීම මෙන් සන්තීරණය දත යුතු ය. ඉදුණු බව නිශ්චය කර ගැනීමට සිඹීම මෙන් ව්‍යවස්ථාපන චිත්තය දත යුතු ය. අඹ ගෙඩිය අනුභව කිරීම මෙන් ජවන චිත්තය දත යුතු ය. කටේ ගෑවී ඉතුරු හරිය කෙළත් සමග ගිලීම මෙන් තදාරම්මණය දත යුතු ය. නැවත නිදා ගැනීම මෙන් නැවත භවාඞ්ග ඇති වීම දත යුතු ය.

6. චිත්ත වීථි ඇති වන සැටි

චිත්ත වීථි නාමයෙන් හඳුන්වන රූප දර්ශනාදිය සම්බන්ධයෙන් ඇති වන පඤ්චද්වාරාවජ්ජන චක්ඛු විඤ්ඤාණාදි සිත් වැල් ඒ ඒ පුද්ගලයන්ට තම තමන්ගේ උත්සාහයෙන් ද ඇති කළ නො හැකි ය. දේවාදි යම් කිසිවකු ගේ බලයකින් ඒවා ඇති කළ හැක්කේ ද නො වේ. චක්ෂුර්ද්වාර වීථියක් ඇති වෙතොත් ඇති වන්නේ රූපාරම්මණයක් චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටීමෙන් ම ය. බෙර ඇසෙහි අත වැදුණ හොත් හඬක් ඇති වන්නාක් මෙන් ගිනි පෙට්ටියෙහි ගිනිකූර ඇතිල්ලුවහොත් ගින්නක් හට ගන්නාක් මෙන්, චක්ෂුඃප්‍ර‍සාද-රූපාරම්මණ දෙක්හි ගැටීමක් සිදු වුව හොත් චක්ෂුර්ද්වාරික වීථි ඇති වේ.

චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි රූපයක් ගැටුණු කල්හි ඇති වන පඤ්චද්වාරාවජ්ජනාදි සිත් පෙළ අවුල් නො වන ලෙස පඤ්චද්වාරාවජ්ජන - චක්ඛුවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණාදි වශයෙන් පිළිවෙළ නො ඉක්මවා ඇති වන ලෙස විධානය කරන්නෙක් ද නැත. එසේ නැති ව මේ සිත් පිළිවෙළට ඇති වන්නේ පූර්ව පූර්ව සිත්වල බලයෙන් ම ය. පඤ්චද්වාරාවජ්ජනයක් ඇතිවීම නිසා එය ළඟට ඇති වීමට යෝග්‍ය වූ චක්ඛුවිඤ්ඤාණය ඇති වේ. චක්ඛුවිඤ්ඤාණය ඇති වීම නිසා එය ළඟට ඇති වීමට නිසි සිත වූ සම්පටිච්ඡනය ඇති වේ. සම්පටිච්ඡනාදිය ඇති වීම නිසා සන්තීරණාදිය ද එසේ ක්‍ර‍මානුකූල ව ඇති වේ.

නියාම ධර්ම

විධානය කරන්නකු නැති ව ම ක්‍ර‍මානුකූලව සිත් ඇති විය හැකි බව දැක්වීම පිණිස පෞරාණිකාචාර්‍ය්‍යයන් විසින් නියාම ධර්ම කථාව දක්වා තිබේ.

ඒ මෙසේ ය:-

බීජ නියාමය, සෘතු නියාමය, කර්ම නියාමය, ධර්ම නියාමය, චිත්ත නියාමය” නියාම ධර්ම පසෙකි.

අඹ ඇටයකින් කජු පැළයක් - දෙහි පැළයක් - දොඩම් පැළයක් ඇති නො වී, අඹ පැළයක් ම ඇති වීම; කොස් ඇටයකින් කොස් පැළයක් ම - පොල් ගෙඩියකින් පොල් පැළයක්ම යනාදි වශයෙන් ඒ ඒ බීජයන් ඒ ඒ ජාතියේ ම ගස් හට ගැනීම, කඩල ගසේ කරටිය උතුරට ම හැරී සිටීම; සූර්‍ය්‍යකාන්ත ගසේ කරටිය ඉර දෙසට හැරීම; පොල් ගෙඩියේ ඇස් තුනක් ඇතිවීම යනාදිය බීජ නියාමය ය.

ඒ ඒ ජාතිවලට අයත් ගස් වැල්වල එක ම කාලයකදී දලු - මල් ඵල හට ගැනීම සෘතු නියාමය ය.

ඒ ඒ කර්මයන්ට අනුකූල වන විපාකයක් ම ඇති වීම කර්ම නියාමය ය.

මහා බෝධිසත්ත්වයන් ගේ මවුකුස පිළිසිඳ ගැනීම් මව් කුසයෙන් බිහිවීම් - බුදුවීම් - දම්සක්පැවැත්වීම් ආදියෙහි පොළොව කම්පාවීම් ආදී නිමිති පහළ වීම ධර්ම නියාමය ය.

රූපාදි ආරම්මණයන් චක්ෂුරාදි ප්‍ර‍සාදයන්හි ගැටුණු කල්හි කිසිවකු ගේ සංවිධානයක් නැති ව ක්‍ර‍මානුකූලව සිත් පරම්පරාව ඇති වීම චිත්ත නියාමය ය.

කියන ලද කරුණු පස කාගේවත් සංවිධානයක් නැතිව නියාම ධර්ම අනුව සිදු වේ.

“චිත්ත වීථි උගෙනීම අමාරු වැඩක් ය” යන සම්මුතියක් රටේ පවතී. අමාරු වන්නේ පළමුවෙන් එක් වීථියක් උගෙනීමට ය. එය පිළිබඳව ඇති සියලු ම ප්‍ර‍ශ්න හොඳින් නිරාකරණය කර ගෙන එක් වීථියක් හොඳින් තේරුම් ගත හොත්, ඉදිරියට අපහසුවක් නැති ව චිත්ත වීථි උගත හැකිවනු ඇත. එබැවින් ඉදිරියට යන්නට ඉක්මන් නොවී මේ අතිමහන්තාරම්මණ වීථිය ඉතා හොඳින් ඉගෙන ගන්න. හොඳින් තේරුම් කර ගන්න.

7. මහන්තාරම්මණ වීථි දෙක

අතිමහන්තාරම්මණ වීථිය ඇති වන්නේ, ඉපිද එක් චිත්තක්ෂණයක් වූ කාලය ඉක්ම, දෙවන චිත්තක්ෂණයේදී ප්‍ර‍සාදයෙහි ගැටෙන අරමුණ නිසා ය. රූපාරම්මණය කඩා වීම, මහත් වුව ද දුරවීම, ආලෝකය මඳ වීම ආදි කරුණුවලින් සමහර විට රූපාරම්මණය ඉපද චිත්තක්ෂණ දෙකක් ගත වී තුන් වන චිත්තක්ෂණයේදී ද, චිත්තක්ෂණ තුනක් පසු වී සතර වන චිත්තක්ෂණයේදී ද, ප්‍ර‍සාදයෙහි ගැටේ. තුන් වන සතර වන චිත්තක්ෂණවල දී ප්‍ර‍සාදයෙහි ගැටෙන රූපයන් අරමුණු කොට මහන්තාරම්මණ වීථි දෙකක් ඇති වේ.

පළමු වන මහන්තාරම්මණ වීථිය මෙසේය:- ඉපද චිත්තක්ෂණ දෙකක් ඉක්ම තුන් වන චිත්තක්ෂණයේ දී රූපාරම්මණය චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටුණ කල්හි, පෙර සේම භවඞ්ගචලන - භවඞ්ගුපච්ඡේද - පඤ්චද්වාරාවජ්ජන - චක්ඛුවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණ - ව්‍යවස්ථාපන සිත් පිළිවෙළින් ඇති වූ පසු, කාමාවචර ජවනයන් අතුරෙන් යම් කිසි සිතක් ජවන කෘත්‍යයෙන් සත් වරක් උපදී. ඉන් පසු අතිමන්තාරම්මණ වීථියෙහි මෙන් තදාරම්මණය ඇති නො වී, භවාඞ්ග චිත්තයෝ උපදිති. මේ පළමු වන මහන්තාරම්මණ වීථිය ය.

මේ වීථියට පඤ්චද්වාරාවජ්ජනයේ පටන් සත් වන ජවනය දක්වා වීථි සිත් දොළොසක් ඇත්තේ ය. රූපාරම්මණය ප්‍ර‍සාදයෙහි ගැටෙන්නට කලින් ඇති වූ අතීත භවඞ්ග දෙක ය, භවඞ්ගචලන - භවඞ්ගුපච්ඡේද දෙක ය, යන සිත් සතරක් වීථි සිත් දොළොසට එකතු කළ කල්හි සිත් දහසයක් වේ. වීථියට අරමුණු වූ රූපය පටන් ගත්තේ පළමු වන අතීත භවඞ්ගයාගේ උත්තාදක්ෂණයෙහි බැවින් ඒ රූපයට සත්වන ජවනයෙන් මතුවට ආයු ඇත්තේ එක් චිත්තක්ෂණයක් පමණෙකි. නිරෝධයට ඉතා ආසන්න බැවින් අන්තිම චිත්තක්ෂණයට පැමිණ ඇති රූපය ඉතා දුබලය. දුබල වූ ඒ රූපාරම්මණය තදාලම්බනයකට ප්‍ර‍ත්‍යය වීමට නො සමත් ය. එබැවින් මේ වීථියෙහි තදාරම්මණයක් නූපදී. තදාරම්මණෝත්පත්තිය පිළිබඳ නොයෙක් ආචාර්‍ය්‍ය මත ඇත්තේ ය. ආධුනිකයන්ට කරදරයක් බැවින් ඒවා මෙහි නො දක්වනු ලැබේ.

දෙවන මහන්තාරම්මණ වීථිය මෙසේ ය:- ඉපද චිත්තක්ෂණ තුනක් ඉක්මුණු රූපාරම්මණයක් සතර වන චිත්තක්ෂණයෙහි චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටීමෙන් භවාඞ්ගචලන - භවාංගුපච්ඡේද - පඤ්චද්වාරාවජ්ජන - චක්ඛුවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණ - ව්‍යවස්ථාපන යන සිත් ඇති වීමෙන් පසු සත් වරක් ජවනය ඇති වන වීථිය, දෙවන වමහන්තාරම්මණ වීථිය ය. මේ වීථියේ සත් වන ජවනය සමග ම වීථිය අරමුණු වූ රූපාරම්මණය නිරුද්ධ වේ.

වීථි සටහන්

පළමු වන මහන්තාරම්මණ වීථිය

තී
ооо
1
තී
ооо
2

ооо
3

ооо
4

ооо
5

ооо
6
සං
ооо
7

ооо
8
වො
ооо
9

ооо
10

ооо
11

ооо
12

ооо
13

ооо
14

ооо
15

ооо
16

ооо
17

දෙවන මහන්තාරම්මණ වීථිය

තී
ооо
1
තී
ооо
2
තී
ооо
3

ооо
4

ооо
5

ооо
6

ооо
7
සං
ооо
8

ооо
9
වො
ооо
10

ооо
11

ооо
12

ооо
13

ооо
14

ооо
15

ооо
16

ооо
17

පරිත්තාරම්මණ වීථි සය

ඉපද චිත්තක්ෂණ සතරක් පසු වී පස් වන චිත්තක්ෂණයෙහි චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටෙන රූපාරම්මණය ද, චිත්තක්ෂණ පසක් පසු වී සවන චිත්තක්ෂණයේ දී ප්‍ර‍සාදයෙහි ගැටෙන රූපාරම්මණය ද චිත්තක්ෂණ සයක් පසු වී සත් වන චිත්තක්ෂණයේ දී ප්‍ර‍සාදයෙහි ගැටෙන රූපාරම්මණය ද, චිත්තක්ෂණ සතක් පසු වී අටවන චිත්තක්ෂණයෙහි දී ප්‍ර‍සාදයෙහි ගැටෙන රූපාරම්මණය ද, චිත්තක්ෂණ අටක් පසුවී නවවන චිත්තක්ෂණයෙහි දී ප්‍ර‍සාදයෙහි ගැටෙන රූපාරම්මණය ද, චිත්තක්ෂණ නවයක් ඉක්මී දශ වන චිත්තක්ෂණයෙහි ප්‍ර‍සාදයෙහි ගැටෙන රූපය ද අරමුණු කොට උපදනා වීථි සය පරිත්තාරම්මණ වීථි නම් වෙයි.

මහන්තාරම්මණ වීථිවල ඇති වෙනස තදාරම්මණයක් නැති බව ය. පරිත්තාරම්මණ වීථිවල වෙනස නම් ජවන - තදාරම්මණ දෙක ම නැති බව ය.

රූපාරම්මණයක් ඉපද චිත්තක්ෂණ සතරක් ඉක්ම පස්වන චිත්තක්ෂණයේ දී චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටුණාම භවඞ්ග චලන - භවඞ්ගුපච්ඡේද - පඤ්චද්වාරාවජ්ජන - චක්ඛුවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණ - ව්‍යවස්ථාපන යන සිත් පිළිවෙළින් ඇති වේ. භවඞ්ග චලනයේ පටන් ඒ සිත් ගැන්නාම ව්‍යවස්ථාපන චිත්තය සත් වන චිත්තය වේ. අතීත භවඞ්ග හෙවත් ප්‍ර‍සාදයෙහි ගැටෙන්නට කලින් ඉක්මුණු භවාඞ්ග සතරක් මුලට එකතු කොට ගැන්නාම ව්‍යවස්ථාපන චිත්තය එකොළොස් වන සිත වේ. මේ වීථියට අරමුණු වූ රූපය ඇති වූයේ පළමු වන අතීත භවාඞ්ගය සමග ය. එබැවින් ව්‍යවස්ථාපනය නිරුද්ධ වන විට ඒ රූපයේ ආයුෂය චිත්තක්ෂණ එකොළොසක් වී තිබේ. දාහතක් සම්පූර්ණ වීමට තවත් ඇත්තේ චිත්තක්ෂණ සයක් පමණෙකි. ව්‍යවස්ථාපනයෙන් පසු චිත්තක්ෂණ සයකින් වීථියට අරමුණු වූ රූපය නිරුද්ධ වේ.

උපදින ජවන චිත්ත වාර ගණන අඩු වීමට විශේෂ කාරණයක් නැති කල්හි කාමාවචර ජවනය සත් වරක් උපදනා බව චිත්ත නියාම ය ය. එබැවින් සත් වරක් ජවන චිත්තය ඉපදීමට ඉඩ නැති අරමුණක ජවන් සිත් නූපදී. ඉහත කී රූපාරම්මණයට තවත් ඉදිරියට ඇත්තේ චිත්තක්ෂණ සයක් වූ කාලය පමණෙකි. ජවන සත් වරක් ඉපදීමට කාලය මඳ බැවින් ඒ පරිත්තාරම්මණයෙහි ජවන චිත්තයක් නූපදී. ජවන ස්ථානයන්හි ජවන වෙනුවට එක් වරක් හෝ දෙවරක් ව්‍යවස්ථාපන චිත්තය ම උපදී. ඉන් පසු භවාඞ්ග පතනය වේ.

“සවන ජවන චිත්තය සමග රූපාරම්මණය නිරුද්ධ වූවාට පසු සත් වන ජවනයක් උපදින්නට බැරි මක්නිසාද?” යන ප්‍ර‍ශ්නය මෙහිදී මතු වේ. එක් වීථියකට අයත් සිත්වල අරමුණ ධර්‍ම වශයෙන් පමණක් නො ව කාල වශයෙනුත් සමාන විය යුතු ය. මේ වීථියට අරමුණු වන රූපය චිත්තක්ෂණ සතොළොස වූ ආයුෂය ගෙවා නිරුද්ධ වන්නට මත්තෙන් වර්තමාන කාලයට අයත් සතළොස්වන චිත්තක්ෂණයේ දී නිරුද්ධ වීමෙන් පසු එය අතීත කාලයට අයත් වේ. රූපය නිරුද්ධ වූවාට පසු මේ වීථියෙහි ජවනයක් ඇතිවෙත හොත් එයට අරමුණු කරන්නට වර්තමාන රූපය නැති බැවින් අතීත රූපය අරමුණු කරන්නට සිදු වේ. එය චිත්ත නියාමයට විරුද්ධ බැවින් සත් වරක් වර්තමාන රූපය අරමුණු කොට ජවන චිත්තයට උපදින්නට ඉඩ නැති මේ පරිත්තාරම්මණයේ සම්පූර්ණයෙන් ජවනය නූපදී, එහි ව්‍යවස්ථාපනයෙන් පසු ජවනය වෙනුවටත් වරක් හෝ දෙවරක් ව්‍යවස්ථාපනය ම උපදී. රූපය නිරුද්ධ වන්නට කලින් ම භවඞ්ග පතනය වී වීථිය අවසන් වේ.

වීථි සටහන්

1 වන පරිත්තාරම්මණ වීථිය

තී
ооо
1
තී
ооо
2
තී
ооо
3
තී
ооо
4

ооо
5

ооо
6

ооо
7

ооо
8
සං
ооо
9

ооо
10
වො
ооо
11
වො
ооо
12
වො
ооо
13

ооо
14

ооо
15

ооо
16

ооо
17

2 වන පරිත්තාරම්මණ වීථිය

තී තී තී තී තී න ද ප ච සං ණ වො වො වො භ භ භ

3 වන පරිත්තාරම්මණ වීථිය

තී තී තී තී තී තී න ද ප ච සං ණ වො වො වො භ භ

4 වන පරිත්තාරම්මණ වීථිය

තී තී තී තී තී තී තී න ද ප ච සං ණ වො වො වො භ

5 වන පරිත්තාරම්මණ වීථිය

තී තී තී තී තී තී තී තී න ද ප ච සං ණ වො වො වො

6 වන පරිත්තාරම්මණ වීථිය

තී තී තී තී තී තී තී තී තී න ද ප ච සං ණ වො වො

8. අතිපරිත්තාරම්මණ වීථි සය

රූපාරම්මණය ඉපද චිත්තක්ෂණ දසය එකොළොස දොළොස තෙළෙස තුදුස පසළොස පසු වී චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටීමෙන් අතිපරිත්තාරම්මණ වීථි සය ඇති වේ.

රූපාරම්මණය ඉපද චිත්තක්ෂණ දහයක් පසු වී ප්‍ර‍සාදයෙහි ගැටෙන අරමුණ ගැන වීථි සිත් උපදිත හොත් ඒ අරමුණ නිරුද්ධ වන්නට මත්තෙන් උපදින්නට ලැබෙන්නේ ව්‍යවස්ථාපනය දක්වා සිත්වලට පමණකි. ජවනය වෙනුවට ජවනස්ථානයෙහි තවත් ව්‍යවස්ථාපනයක් ඇති වීමට කලක් නැත්තේ ය. ඒ අරමුණ ඉතා දුබල බැවින් එහි පඤ්චද්වාරාවජ්ජනාදි වීථි සිත් ද නූපදී. ඒ අරමුණ ගැටීමෙන් වන්නේ භවාඞ්ගය සෙලවීම පමණෙකි. චිත්තක්ෂණ දසයට වඩා ඉක්ම ප්‍ර‍සාදයෙහි ගැටෙන අරමුණු වලින් ද භවාඞ්ග චලනය වේ. අතිපරිත්තාරම්මණ වීථි සයක් වන්නේ එහෙයිනි.

අතිපරිත්තාරම්මණ වීථි සයේ සටහන්

  1. තී තී තී තී තී තී තී තී තී තී න න භ භ භ භ භ
  2. තී තී තී තී තී තී තී තී තී තී තී න න භ භ භ භ
  3. තී තී තී තී තී තී තී තී තී තී තී තී න න භ භ භ
  4. තී තී තී තී තී තී තී තී තී තී තී තී තී න න භ භ
  5. තී තී තී තී තී තී තී තී තී තී තී තී තී තී න න භ
  6. තී තී තී තී තී තී තී තී තී තී තී තී තී තී තී න න

සෝතද්වාර වීථි ආදිය

ඉපද එක් චිත්තක්ෂණයක් ගත වූ ශබ්දාරම්මණය සෝත ප්‍ර‍සාදයෙහි ගැටීමෙන් සෝතද්වාර අතිමහන්තාරම්මණ වීථිය ඇති වේ. චක්ෂුර්ද්වාර අතිමහන්තාරම්මණ වීථියට වඩා එහි ඇති වෙනස චක්ඛුවිඤ්ඤාණය ඇති වුණු සෝත විඤ්ඤාණය ඇති වීම පමණෙකි. සෝතද්වාර වීථි පසළොස ම චක්ෂුර්ද්වාර වීථි අනුව තේරුම් ගත යුතු ය. ඝාන-ජිව්හා-කායද්වාර වීථිවලත් වෙනස පඤ්චද්වාරාවජ්ජනයට අනතුරුව ඝාන-ජිව්හා-කාය විඤ්ඤාණයන් ඇතිවීම පමණෙකි. පඤ්චද්වාර වීථි පන් සැත්තෑවෙකි.

රූප ශබ්දාදි අරමුණු ඉතා හොඳට දැනෙන්නේ අතිමහන්තාරම්මණ වීථිවල සිත්වලට ය. මහන්තාරම්මණ වීථිවල සිත්වලට අරමුණු හොඳට දැනේ. ජවන චිත්තයක් නූපදනා බැවින් පරිත්තාරම්ණ වීථිවලට අරමුණු හොඳට නො දැනේ. ඒවායින් වන දැනීම ඉතා දුබල ය. රූපාරම්මණයක් ගැන පරිත්තාරම්මණ වීථි ඇති වුවහොත් සිහිනෙන් දුටුවා වැනි, පෙනුණා නො පෙනුණා වැනි දුබල දැනීමක් ඇති වේ. ශබ්දාරම්මණය ගැන පරිත්තාරම්මණ වීථි ඇති වූ කල්හි ද ඇසුණා නො ඇසුණා වැනි දුබල දැනීමක් ඇති වේ. අනික් අරමුණුවල දැනීමත් එසේ ම ය. අතිපරිත්තාරම්මණයෙහි වීථි සිත් ඇති නො වන බැවින් ඒ අරමුණ පිළිබඳ දැනීමක් සම්පූර්ණයෙන් ම ඇති නො වේ. ඒ වීථිවලින් කිසි ම ප්‍රයෝජනයක් නැත.

චිත්ත නියාමය

රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් මේ පඤ්චද්වාර වීථිවල ඇති නො වේ. චක්ෂුර්ද්වාර වීථිවල ලැබෙන්නේ ද්වාර සංග්‍ර‍හයෙහි චක්ෂුර් ද්වාරික සිත් වශයෙන් කියවුණු සිත් සතළිස් සය ය. ශ්‍රෝත්‍ර‍ද්වාර වීථි ආදියෙහි ලැබෙන සිත් ගණන ද ද්වාර සංග්‍ර‍හයෙහි දැක්වුණු පරිදි ම කිය යුතු ය. පඤ්චද්වාර වීථිවල සෑම ආකාරයෙන් ම ලැබෙන්නේ කාමාවචර සිත් පනස් සතර ය.

මේ වීථිවල ලැබෙන පඤ්චද්වාරාවජ්ජනය ක්‍රියා සිතකි. පඤ්චවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණයෝ විපාකයෝ ය. ව්‍යවස්ථාපනය ක්‍රියා සිතකි. ජවන කුසල් ද වේ. අකුසල් ද වේ. ක්‍රියා ද වේ. තදාරම්මණ විපාකයෝ ය.

ඉෂ්ට හෙවත් හොඳ රූප ශබ්දාදි ආරම්මණයන් ප්‍ර‍සාදවල ගැටුණු කල්හි කුශල විපාක පඤ්චවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ උපදිති. අනිෂ්ට හෙවත් නරක රූප ශබ්දාදිය ද්වාරයන්ට මුණ ගැසුණු කල්හි අකුශල විපාක පඤ්ච විඤ්ඤාණ සම්පටිච්ඡ සන්තීරණ තදාරම්මණයෝ වෙති. ආරම්මණය ඉතා ම හොඳ වන කල්හි සෝමනස්ස සහගත සන්තීරණ තදාරම්මණයෝ වෙති.

ඉතා ම නරක දෙයක් වන අසූචියත් සමහර සත්තු හොඳ සැටියට සලකති. බොහෝ සම්පත් ඇති ඇතැම්හු සමහර හොඳ දේව්ල ද නරක ලෙස සලකති. එබැවින් අරමුණුවල හොඳ නරක බව තීරණය කිරීම දුෂ්කර ය. ඒවායේ හොඳ නරක බව මධ්‍යම ජනයාගේ සැලකීම අනුව කළ යුතු බව අටුවාවේ දක්වා ඇත්තේ ය.

අරමුණ ගැන පුද්ගලයා ගේ අදහස කුමක් වුවත් හොඳ අරමුණෙහි ඇති වන්නේ කුශල විපාක සිත් ය. එසේ ම නරක අරමුණෙහි ඇති වන්නේ ද අකුශල විපාක සිත් ය. පුද්ගලයන්ට වැරදි අදහස් ඇති වූවාට කර්මයට හා විපාකයට වැරදීමක් නො වේ. එබැවින් බුදුන් වහන්සේ ගේ ශරීරය දැකීමට පවා නුසුදුසු නො මනා අරමුණක් ලෙස සලකන මිසදිටුවන්ට බුද්ධ දර්ශනයේ දී කුශල විපාක වූ ම චක්ඛුවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ වෙති. නරක දෙයක් වූ අසූචිය ප්‍රිය කරන සත්ත්වයාට අසූචිය දැකීමේ දී ඇති වන්නේ ද අකුසල විපාක චක්ඛුවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ ය.

ජවනය පුද්ගලයන්ගේ අදහස් අනුව ඇති වන්නකි. කුශලාධ්‍යාශය ඇති කුශලයට කැමති අයට හොඳ නරක මධ්‍යම සියලු අරමුණුවලදී ම කුශල ජවනයන් ඇති විය හැකි ය. ධර්මයෙන් ඈත්ව යෝනිසෝමනසිකාරයෙන් තොර ව පවෙහි ඇලී වාසය කරන්නවුන්ට සියලු ම අරමුණුවල අකුසල ජවන් ඇතිවිය හැකි ය. රහතුන්ගේ වීථිවල ක්‍රියා ජවන් ඇති වේ.

චක්ඛුද්වාර වීථියට අයත් සිත්වලින් චක්ෂුර්වස්තුවෙහි උපදින්නේ චක්ඛුවිඤ්ඤාණය පමණෙකි. අනික් සිත් ඇති වන්නේ හෘදය වස්තුවෙහි ය. එහෙත් ඒ සියල්ල ම රූපාරම්මණය චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටීම නිසා ම ඇති වන බැවින් සම්පූර්ණ වීථිය චක්ෂුර්ද්වාර වීථියක් සැටියට සලකනු ලැබේ. සෝතද්වාර වීථි ආදියත් ඒ ක්‍ර‍මයෙන් තේරුම් ගත යුතු ය.

9. මනෝද්වාර වීථි

කාම ජවන වීථිය - අර්පණා ජවන වීථිය කියා මනෝද්වාර වීථි දෙ කොටසකි. ‘අර්පණා ජවනය’ යි කියනුයේ මහග්ගත ලෝකෝත්තර ජවනයන්ට ය. චිත්තක්ෂණ සතළොසක් ආයු ඇති වර්‍තමාන රූපයක් අරමුණු කොට ඇති වන විභූතාරම්මණ වීථි පසක් ඇත්තේ ය. ඒවා අරමුණු කොට ඇති වන අවිභූතාරම්මණ වීථි දෙකක් ඇත්තේ ය. රූප විසි අටෙහි චිත්තක්ෂණ සතළොස බැගින් ආයු ඇති රූප දෙ විස්සක් ඇත්තේ ය. අනික් රූප සයට එපමණ ආයුෂ නැත. රූප ගැන රූප කාණ්ඩයේ දී දත හැකි වනු ඇත. චිත්තක්ෂණ සතළොසක් ආයු නැති ඉතිරි නාමරූප ධර්ම හා අතීතානාගත දෙකට අයත් චිත්තක්ෂණ සතළොසක් ආයු ඇති රූප දෙවිස්ස ද අරමුණු කොට උපදනා විභූතාරම්මණ වීථි එකක් හා අවිභූතාරම්මණ වීථි එකක් ද ඇත්තේ ය. මෙසේ කාමාවචර ජවන මනෝද්වාර වීථි නවයකි.

චිත්තක්ෂණ සතළොසක් ඇති විභූතාරම්මණ වීථි

1 වන විභූතාරම්මණ වීථිය.

චිත්තක්ෂණ සතළොසක් ආයු ඇති රූපයක් ඉපිද එක් චිත්තක්ෂණයක් ඉක්මීමෙන් පසු දෙවන චිත්තක්ෂණයෙහි මනෝද්වාරයට හමුවීමෙන් භවඞ්ගචලන භවඞ්ගුපච්ඡේද මනෝද්වාරාවජ්ජනයන් ඉපද නිරුද්ධ වීමෙන් පසු යම් කිසි කාමාවචර ජවනයක් සත් වරක් ද තදාරම්මණය දෙවරක් ද වීම ඇති වීථිය ප්‍ර‍ථම සප්ත රසායුෂ්ක විභූතාරම්මණ වීථිය ය, වීථියට අරමුණු වන රූපය සතර වන භවාඞ්ගය සමග නිරුද්ධ වේ.

වීථි සටහන

තී
ооо
1

ооо
2

ооо
3

ооо
4

ооо
5

ооо
6

ооо
7

ооо
8

ооо
9

ооо
10

ооо
11

ооо
12

ооо
13

ооо
14

ооо
15

ооо
16

ооо
17

මෙහි “ම” යන්නෙන් මනෝද්වාරාවජ්ජනයත් “ත” යන්නෙන් තදාරම්මණයත් ගත යුතු ය.

දෙවන තුන් වන සතර වන පස් වන විභූතාරම්මණ වීථි

  1. තී තී න ද ම ජ ජ ජ ජ ජ ජ ජ ත ත භ භ භ
  2. තී තී තී න ද ම ජ ජ ජ ජ ජ ජ ජ ත ත භ භ
  3. තී තී තී තී න ද ම ජ ජ ජ ජ ජ ජ ජ ත ත භ
  4. තී තී තී තී තී න ද ම ජ ජ ජ ජ ජ ජ ජ ත ත

මේ වීථි සටහන්වල අතීත භවාඞ්ග දක්වා ඇත්තේ රූපාරම්මණය මනෝද්වාරයෙහි ගැටෙන්නට කලින් ඉක්මුණු චිත්තක්ෂණ ගණන දැක්වීමට ය. තදාරම්මණයෙන් පසු භවාඞ්ග දක්වා ඇත්තේ වීථි සිත්වලට අරමුණු වන රූපය පවත්නා කාලය දැක්වීම පිණිස ය.

අවිභූතාරම්මණ වීථි දෙක.

ඉපද චිත්තක්ෂණ සයක් හෝ සතක් ඉක්මීමෙන් පසු මනෝද්වාරයේ ගැටෙන අරමුණු දුබල ය. අප්‍ර‍කට ය. එබැවින් එයට “අවිභූතාරම්මණය” යි කියනු ලැබේ. අවිභූතාරම්මණ වීථියෙහි තදාරම්මණ නූපදී. ජවනාවසානයේ භවාඞ්ග පතනය වේ.

  1. තී තී තී තී තී තී න ද ම ජ ජ ජ ජ ජ ජ ජ භ
  2. තී තී තී තී තී තී තී න ද ම ජ ජ ජ ජ ජ ජ ජ

චිත්තක්ෂණ සතළොසක් නැති විභූතාරම්මණ වීථිය.

චිත්තක්ෂණ සතොළොසක් ආයු නැති වර්‍තමාන වූ ද, අතීත වූ ද, අනාගත වූ ද කාමාවචර චිත්ත චෛතසිකයෝ ය, විඤ්ඤත්ති රූප දෙකය, ලක්ෂණ රූප සතරය, අතීතානාගත වන සප්තරසායුෂ්ක රූප දෙ විස්සය යන මේවායින් යම් කිසිවක් මනෝද්වාරයට හමුවීමෙන් භවඞ්ග චලන භවඞ්ගුපච්ඡේද මනෝද්වාරාවජ්ජනයන්ට අනතුරු ව යම් කිසි කාම ජවනයන් සත් වරක් ද තදාරම්මණය දෙවරක් ද ඇති වීමෙන් පසු භවාඞ්ග වන වීථිය, සතළොස් චිත්තක්ෂණයක් නැති විභූතාරම්මණ වීථිය ය.

වීථි සටහන්

භ - න - ද - ම - ජ - ජ - ජ - ජ - ජ - ජ - ජ - ත - ත - භ

චිත්තක්ෂණ සතළොසක් නැති අවිභූතාරම්ම වීථිය.

අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද, එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, විඥප්ති රූප දෙක ය, ලක්ෂණ රූප සතර ය, චිත්තක්ෂණ සතොළොසකට ආයු නැති අතීතානාගත රූප දෙවිස්සය, කාලවිමුක්ත නිර්වාණ, ප්‍ර‍ඥප්ති දෙකය යන මේවායින් යම් කිසිවක් මනෝද්වාරයට හමුවීමෙන් භවාඞ්ග චලන භවඞ්ගුපච්ඡේද මනෝද්වාරාවජ්ජනයන් හා කාමජවනය සත් වරක් ද ඇති වීමෙන් පසු තදාරම්මණ නො වී භවාඞ්ග වන වීථිය සතළොස් චිත්තක්ෂණයක් නැති අවිභූතාරම්මණ වීථිය ය.

වීථි සටහන

භ - න - ද - ම - ජ - ජ - ජ - ජ - ජ - ජ - ජ - භ

මේ වීථි දෙකින් විභූතාරම්මණ වීථියට අරමුණු මඳ වන්නේ තදාරම්මණය නිසා ය. තදාරම්මණය දුබල සිතකි. එය කාමාවචර ධර්ම පමණක් අරමුණු කරන සිතක් බව ආරම්මණ සංග්‍ර‍හයේ දක්වා ඇත. කාමාවචර ධර්මයෝ කවරහු ද යන බවත් එහි ම දක්වා ඇත. තදාරම්මණය ඇති වන වීථියකට කාමාවචර ධර්ම හැර අනිකක් අරමුණු නො විය හැකි ය.

ඇතැම් කාමාවචර ජවනයෝ සියල්ල ම අරමුණු කරන්නට සමත් වෙති. එබැවින් තදාරම්මණය නො වන අවිභූතාරම්මණ වීථියට අරමුණු බොහෝ වෙයි.

10. මනෝද්වාර වීථි ඇති වන අවස්ථා

මනෝද්වාර වීථි ගැන හොඳ අවබෝධයක් ඇතිවීමට ඒවා ඇති වන අවස්ථා දැන ගත යුතු ය. චිත්තක්ෂණ සතොළොසකට ආයු ඇති වර්තමාන රූප දෙවිස්ස අරමුණු කොට සප්තදශායුෂ්ක විභූතාරම්මණ අවිභූතාරම්මණ මනෝද්වාර වීථි ඇති වන බව ඉහත කියන ලදී. රූපය ශබ්දය ගන්ධය රසය ස්ප්‍ර‍ෂ්ටව්‍යය යන අරමුණු පස ඒ රූප දෙවිස්සට ඇතුළත් ය.

ඔබ රුවන්වැලි මහසෑය කරා ගිය හොත් ඒ මහ සෑය ඔබ දක්නෙහි ය. රුවන්වැලි සෑය දැකීමය කියන්නේ අනිකක් නොව රුවන්වැලි සෑය අරමුණු කොට ඔබගේ සන්තානයෙහි යම්කිසි චක්ෂුර්ද්වාර වීථියක් ඇති වීමය.

ඔබ නිවසට ගියකල්හි දුටු රුවන්වැලි මහසෑය ඔබට සිහිවේ. ඒ රුවන්වැලි මහසෑය සිහිවීම නම්, ඔබ කලින් දුටු රුවන්වැලි මහසෑය අරමුණු කරන මනෝද්වාර වීථියක් ඇති වීම ය.

ඔබ දුටු රුවන්වැලි සෑය චිත්තක්ෂණ සතොළොසක් ආයු ඇති රූප සමූහයකි. චිත්තක්ෂණ සතොළොස වූ ආයුෂය ගෙවී ඒ රූප සමූහය එකෙණෙහි ම නිරුද්ධ විය. දැන් ඒවා නැත. දුටු රුවන්වැලි සෑය සිහි කිරීම් වශයෙන් ඔබ සන්තානයේ ඇති වූ මනෝද්වාර වීථියට අරමුණු වන්නේ ඔබ ඒ වේලාවේ දී දුට, දැන් නැති, අතීත රූප සමූහයෙකි. ඔබට ඒ වේලාවේ දී ඇති වූයේ අතීත රූප අරමුණු කරන චිත්තක්ෂණ සතළොසක් නැති මනෝද්වාර වීථි දෙකින් එකකි.

ඔබ නිවසේ සිට ඇසට නො පෙනෙන රුවන්වැලි මහසෑය දෙසට හැරී එයට වඳින්නෙහි නම්, ඒ වැඳීමට ලක් වන්නේ ඔබ කලින් දුටු රුවන්වැලි මහ සෑය නොව, ඒ වේලාවෙහි එතැන ඇති රුවන්වැලි සෑය ය. එයට නමස්කාර කිරීම් වශයෙන් ඔබට ඇති වන්නේ වර්තමාන රූපය අරමුණු කරන සප්තදශායුෂ්ක විභූතාරම්මණ වීථි පසෙන් හා අවිභූතාරම්මණ වීති දෙකින් යම් කිසි වීථියකි. ඒ වන්දනාවට ලක් වන්නේ කලින් දුටු රුවන්වැලි සෑය නොවේය යි කියන්නේ, ඔබ රුවන්වැලි සෑය වශයෙන් කලින් ඇසින් දුටු රූප සියල්ල ම නිරුද්ධ වූ බැවිනි.

ඔබ නිවසේ සිට රුවන්වැලි මහ සෑය වැඳීමේ දී රුවන්වැලි සෑය වශයෙන් ඔබ සලකන, ඉපද එක් චිත්තක්ෂණයක් ඉක්මුණු රූප කලාප සමූහය ද ඔබගේ මනෝද්වාරයට යොමු විය හැකි ය. චිත්තක්ෂණ දෙක තුන සතර පහ ඉක්මුණු රුවන්වැලි මහ සෑයේ රූප කලාප ද ඔබගේ මනෝද්වාරයට එළඹ සිටිය හැකි ය. එවායින් ඔබට පළමු වන දෙවන තුන්වන සතරවන පස්වන විභූතාරම්මණ වීථි ඇති වේ. චිත්තක්ෂණ සයක් හෝ සතක් ඉක්මුණු රූප මනෝද්වාරයට යොමු වී නම් එකල්හි අවිභූතාරම්මණ වීක්ථි ඇති වේ.

රුවන්වැලි මහසෑය නමැති ප්‍ර‍ඥප්තිය මනෝද්වාරයට යොමු වී නම්, එකල්හි ඇති වන්නේ චිත්තක්ෂණ සතළොසක් නැති ප්‍ර‍ඥප්තිය අරමුණු කරන මනෝද්වාර වීථිය ය.

රුවන්වැලි මහසෑය දුටු බව ඔබට මතක් වේ නම්, එකල්හි ඔබට ඇති වූයේ චක්ඛුවිඤ්ඤාණය හෝ චක්ඛුද්වාර වීථිය අරමුණු කරන මනෝද්වාර වීථියකි. එය සිත් අරමුණු කොට ඇති වන මනෝද්වාර වීථියකි. රුවන්වැලි සෑය සිහිවීම අනිකකි. රුවන්වැලිසෑය දුටු බව සිහිවීම අනිකකි. අවුල් කර නො ගෙන ඒ දෙකේ වෙනස තේරුම් ගන්න.

රුවන්වැලි සෑය දැකීමෙන් සමහර විට ඔබට මහත් ප්‍රීතියක් ඇති වන්නට ඇත. ප්‍රීතිය චෛතසිකයෙකි. රුවන්වැලි සෑය දැකීමෙන් ඇති වූ ප්‍රීතිය ඔබට සිහි වෙනවා නම්, එකල්හි ඇති වන්නේ ප්‍රීති චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීථියකි.

වේදනාව ද චෛතසිකයෙකි. ඔබට ඇති වූ වේදනාවක් සිහි වේ නම්, එකල්හි ඇති වන්නේ වේදනා චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීථියකි. වේදනාවෙන් පෙළෙන අනිකකු දුටු විට ඔහුගේ වේදනාව ඔබට දැනුන හොත්, එකල්හි ඇති වූයේ ද වේදනා චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීථියකි.

ඔබ සන්තානයේ ඇති වන ආදරය කෝපය මානය ඊර්‍ෂ්‍යාව මෛත්‍රිය කරුණාව යනාදිය සිහි වන විට ද, අනුන් කෙරෙහි ඇති වන ඒ කරුණු දැනෙන විට ද, ඇති වන්නේ චෛතසික අරමුණු කරන මනෝද්වාර වීථිය ය.

මෙතෙකින් කියන ලදුයේ පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ටිකකි. කියන ලද කරුණු අනුව සිතා, රූප හා චිත්ත - චෛතසිකයන් අරමුණු කොට මනෝද්වාර වීථි ඇති වන සැටි තේරුම් ගන්න.

11. මනෝද්වාර වීථි ඇති වීමේ හේතු

චක්ෂුරාදි ද්වාරයන්හි රූපාදි අරමුණු ගැටීමෙන් පඤ්චද්වාර වීථි ඇති වන බව ප්‍ර‍කට ය. මනෝද්වාර වීථි ඇති වීමේ හේතු අප්‍ර‍කට ය. එබැවින් එය දක්වනු ලැබේ.

මනෝද්වාර වීථි ඇති වීමේ හේතු බොහෝ ය. පඤ්චද්වාරයෙහි රූපාදි අරමුණු ගැටීමත් මනෝද්වාර වීථි ඇති වීමේ එක් හේතුවකි. පඤ්චද්වාරයෙන් ගත් අරමුණු හා සම්බන්ධ බව, අනුන් කියනු ඇසීම, අසන ලද්ද හා සම්බන්ධ බව, අනුන් විසින් ප්‍ර‍ශ්න ඇසීම, කල්පනා කිරීම, ශාරීරික ධාතු කෝපය, සා ගින්න - පිපාසාව, නොයෙක් ශාරීරික වේදනා ඇතිවීම, සතුරන් මුණ ගැසීම, මිතුරන් මුණ ගැසීම යන මේවා මනෝද්වාර වීථි ඇති වීමේ හේතූන්ගෙන් කොටසකි.

ඝණ්ටාවකට වරක් ගැසූ කල්හි මහ හඬක් ඇති වේ. ඉන් පසු ගැසීමක් නැතිව මුලින් ඇති වූ හඬ නිසා ක්‍ර‍මයෙන් සිහින් වෙමින් නාද පරම්පරාවක් ඇති වේ. එමෙන් චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි වරක් රූපාරම්මණයක් ගැටුණ කල්හි චක්ෂුර්ද්වාර වීථියක් ඇති වී නිරුද්ධ වූ පසු ද ඒ රූපාරම්මණය මනෝද්වාරයට එළඹ සිටීමෙන් සමහරවිට, සිය ගණන් දහස් ගණන් මනෝද්වාර වීථි ඇති වේ. එසේ ම සෝත ඝාන ජිව්හා කායද්වාර වීථිවලින් පසු ශබ්දාදි අරමුණු මනෝද්වාරයට යොමු වී සිටීමෙන් සිය ගණන් දහස් ගණන් මනෝද්වාර වීථි ඇති වේ.

පඤ්චද්වාරයන් වරක් අරමුණක් ගත් කල්හි සමාන භාවයෙන් ඒ අරමුණ හා සම්බන්ධ බොහෝ අරමුණු ද මනෝද්වාරයට යොමුවීමෙන් බොහෝ මනෝද්වාර වීථි ඇති වේ.

අසලවල් තැන මෙබඳු දෙයක් තිබෙනවා ය, අසවලා මෙබඳු දෙයක් කළා ය, අසවල් රටේ අසවල් තැන මෙබඳු දෙයක් සිදු වුණාය යනාදීන් අනුන් කියන දේ ඇසීමෙන් අපමණ මනෝද්වාර වීථි ඇති වේ. පොත පත කියැවීම නිසා ද එසේ ම අපමණ මනෝද්වාර වීථි ඇති වේ.

අනුන්ගෙන් ඇසීමෙන් හෝ පොත පත කියැවීමෙන් හෝ දත් කරුණු හා සම්බන්ධකම ඇති නිසා තවත් බොහෝ කරුණු මනෝද්වාරයට යොමු වීමෙන් බොහෝ මනෝද්වාර වීථි ඇති වේ.

අනුන් විසින් ප්‍ර‍ශ්න ඇසීම නිසා ඒ ප්‍ර‍ශ්න හා සම්බ්නධ බොහෝ කරුණු මනෝද්වාරයට යොමුවීමෙන් බොහෝ මනෝද්වාර වීථි ඇතිවේ.

“කල්පනා කිරීමය” යනු නො දත් කරුණු වෙත තමාගේ සිත යොමු කිරීම ය. කල්පනා කිරීම නිසා ද බොහෝ අරමුණු මනෝද්වාරයට යොමු වීමෙන් බොහෝ මනෝද්වාර වීථි ඇති වේ.

ධාතු කෝපාදිය නිසා ද නොයෙක් විට බොහෝ මනෝද්වාර වීථි ඇති වන බව තේරුම් ගත යුතු ය. භූතයන් විසින් ද සමහර විට මිනිසුන්ගේ සිත්වලට නොයෙක් අරමුණු දෙනු ලැබේ. ඒ නිසා ද බොහෝ මනෝද්වාර වීථි ඇති වන බව දත යුතු ය.

අනුබන්ධක මනෝද්වාර වීථි.

රූපයක් චක්ෂුඃ ප්‍ර‍සාදයේ ගැටී චක්ෂුර්ද්වාර වීථියක් ඇති වූ පමණින්ම ඒ පුද්ගලයාට “මම අසවල් දෙය දිටිමිය” යන දැනීම ඇති නො වේ. අසවල් දෙය දුටුවෙමි ය යන හැඟීම පුද්ගලයාට ඇති වීමට චක්ෂුර්ද්වාර වීථියෙන් පසු මනෝද්වාර වීථි ගණනක් ද ඇති විය යුතු ය. චක්ෂුර්ද්වාර වීථියට දැනෙන්නේ චක්ෂුඃ ප්‍ර‍සාදයේ ගැටුණු පැහැය පමණෙකි. සෝත, ඝාන, ජිව්හා, කායද්වාර වීථි ඇති වූ පමණින් ද අසවල් දෙය ඇසුණා ය, අසවල් ගන්ධය - අසවල් රසය - දැනුණා ය, අසවල් දෙය සැපුණාය කියා පුද්ගලයාට දැනෙන්නේ නොවේ. ඒවා ගැන දැනුම ඇති වීමට මනෝද්වාර වීථි ගණනක් ඇති විය යුතු ය. පඤ්චද්වාර වීථින්ට අනතුරු ව ඒ වීථිවලින් ගත් අරමුණු සම්බන්ධයෙන් ඇති වන මනෝද්වාර වීථීන්ට අනුබන්ධක මනෝද්වාර වීථිය යි කියනු ලැබේ. අනුබන්ධක මනෝද්වාර වීථි වශයෙන් ඇති වන්නේ ද ඉහත කී චිත්තක්ෂණ සතළොසක් නැති විභූතාරම්මණ අවිභූතාරම්මණ වීථිහුම ය. පඤ්චද්වාර වීථීන්ට අනතුරුව අනුබන්ධක මනෝද්වාර වීථි ඇති වන ක්‍ර‍මය පොත් කීපයක කීප ආකාරයකින් කියා තිබේ.

රූපයක් චක්ෂුඃ ප්‍ර‍සාදයේ ගැටුණු කල්හි පළමුවෙන් චක්ෂුර්ද්වාර වීථියක් ඇති වේ. එය නිරුද්ධ වූ පසු චක්ෂුර්ද්වාර වීථියෙන් ගන්නා ලද අතීත රූපය ගනිමින් මනෝද්වාර වීථියක් ඇති වේ. ඊට පසු ඒ රූපයට කියන නම අරමුණු කරන මනෝද්වාර වීථියක් ඇති වේ. එය නිරුද්ධ වූ පසු ඒ නමින් හඳුන්වන දෙය හෙවත් වචනයේ අර්ථය ගන්නා මනෝද්වාර වීථියක් ඇති වේ. “මම අසවල් දෙය දුටිමි ය” යන දැනීම පුද්ගලයාට ඇති වන්නේ තුන්වන මනෝද්වාර වීථිය ඇති වීමෙන් පසු ව ය.

ශබ්දයක් ශ්‍රෝත්‍ර‍ද්වාරයට පැමිණි කල්හි පළමුවෙන් සෝතවිඤ්ඤාණ වීථියක් උපදී. එය නිරුද්ධ වූ පසු අතීත වූ ශබ්දය නැවත ගන්නා මනෝද්වාර වීථියක් ඇති වේ. එය නිරුද්ධ වූ පසු එහි නාමයය මතු කර ගන්නා මනෝද්වාර වීථියක් ඇති වේ. ඝාන, ජිව්හා, කාය ද්වාර වීථි අනුව ද මෙසේ ම මනෝද්වාර වීථි තුන බැගින් ඇති වේ. මෙය එක්තරා ආචාර්‍ය්‍ය මතයෙකි.

විශේෂ කරුණක්

බොහෝ අභිධර්ම පොත්වල මරණාසන්න වීථි හා අර්පණා වීථි සතරවන පරිච්ඡේදයේ ම දක්වා තිබේ. මරණාසන්න වීථි පස්වන පරිච්ඡේදයේ මරණෝත්පත්ති චතුෂ්කයේ දී ඉගෙනීම පහසු ය. අර්පණා වීථි පිළිබඳව හොඳ දැනුමක් ඇති කර ගත හැක්කේ කර්‍මස්ථාන සමග ම ඉගෙනීමෙනි. ඒ නිසා ඒ තැන්වල දීම මරණාසන්න වීථි හා අර්පණා වීථි දක්වන්නෙමු.

12. පුද්ගල භේදය

පෘථග්ජන පුද්ගලයෝ ය. ආර්‍ය්‍ය පුද්ගලයෝ යයි පුද්ගලයෝ දොකොටසකි. පෘථග්ජන පුද්ගලයෝ සතර දෙනෙකි. ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙනෙකි. සියලු ම පුද්ගලයෝ දොළොස් දෙනෙකි.

පෘථග්ජන පුද්ගලයන් සතර දෙනා නම්: දුර්ගති අහේතුක පුද්ගලයා ය, සුගති අහේතුක පුද්ගලයා ය, ද්විහේතුක පුද්ගලයා ය, ත්‍රිහේතුක පුද්ගලයා ය යන මොවුහු ය.

මේ පුද්ගලයන් භේදයට පැමිණෙන්නේ ප්‍ර‍තිසන්ධි චිත්තයෙනි. අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ චිත්තයෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ දුර්ගති අහේතුකයෝ ය. කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ සුගති අහේතුකයෝ ය. මහා විපාක ඤාණ විප්පයුත්ත සිත් සතරෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ ද්විහේතුකයෝ ය. මහා විපාක ඥාන සම්ප්‍ර‍යුක්ත සතර ය, මහග්ගත විපාක නවය ය යන සිත් දහතුනෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ ත්‍රිහේතුකයෝ ය. අසංඥ පුද්ගලයා ද අහේතුක පුද්ගලයෙකි.

සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය, සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, අනාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අර්හන් මාර්ගස්ථ පුද්ගලයා ය, අර්හන් ඵලස්ථ පුද්ගලයා ය යන මේ පුද්ගලයෝ අට දෙන ආර්‍ය්‍ය පුද්ගලයෝ ය.

අර්හත් ඵලස්ථ පුද්ගලයාට අශෛක්ෂ පුද්ගලයා ය යි ද ඉතිරි ආර්‍ය්‍ය පුද්ගලයන් සත් දෙනාට ශෛක්ෂ පුද්ගලයෝ යයි ද කියනු ලැබේ.

පුද්ගලයන්ට ලැබෙන සිත්

ද්විහේතුකයන්ට හා අහේතුකයන්ට ක්‍රියා ජවන හා අර්පණා ජවන නො ලැබේ. සුගති අහේතුකයාට හා ද්විහේතුකයාට ඥාන සම්ප්‍ර‍යුක්ත මහා විපාක ද නොලැබේ. දුර්ගති අහේතුකයාට ඥාන සම්ප්‍ර‍යුක්ත විප්‍ර‍යුක්ත මහා විපාක අට ම නො ලැබේ.

ත්‍රිහේතුකයන් ගෙන් රහතුන්ට කුශලාකුශල ජවනයෝ නො ලැබෙති. ශෛක්ෂයන්ට හා පෘථග්ජනයන්ට ක්‍රියා ජවනයෝ නො ලැබෙති. ශෛක්ෂයන්ට දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සිත් හා විචිකිච්ඡා සහගත සිත් ද නො ලැබේ. අනාගාමීන්ට ද්වේෂ මූල සිත් දෙක ද නො ලැබේ.

ලෝකෝත්තර ජවන ඒ ඒ මාර්ගස්ථ ඵලස්ථ පුද්ගලයන්ට පමණක් ලැබේ. කියන ලද කරුණු අනුව ඒ ඒ පුද්ගලයාට ලැබෙන සම්පූර්ණ සිත් ගණන සොයා ගත යුතු ය.

මහග්ගත විපාක නවය හැර ඉතිරි සිත් අසූව වීථි සිත් ය. මහග්ගත විපාක ද්වාර විමුක්ත බැවින් වීථි සිත් නො වේ. ඒ ඒ පුද්ගලයන්ට ලැබෙන වීථි සිත් ගණන මෙසේ ය. මෙහි දැක්වෙන්නේ ඒ ඒ පුද්ගලයන්ට ලැබිය හැකි වැඩි ම සිත් ගණන ය.

  1. දුර්ගති අහේතුකයාට - 37
  2. සුගති අහේතුකයාට - 41
  3. ද්විහේතුකයාට - 41
  4. ත්‍රිහේතුක පෘථග්ජනයාට - 54
  5. සෝවාන් මාර්ගස්ථයාට - 1
  6. සෝවාන් ඵලස්ථයාට - 50
  7. සකෘදාගාමි මාර්ගස්ථයාට - 1
  8. සකෘදාගාමි ඵලස්ථයාට - 50
  9. අනාගාමි මාර්ගස්ථයාට - 1
  10. අනාගාමි ඵලස්ථයාට - 48
  11. අර්හන් මාර්ගස්ථයාට - 1
  12. අර්හන් ඵලස්ථයාට - 44

දුර්ගති අහේතුක සිත් 37-

අකුසල් සිත් 12, හසිතුප්පාදය හැර අහේතුක 17, මහා කුසල් 8 යන මේවා ය.

සුගති අහේතුක සිත් 41-

අකුසල් 12, හසිතුප්පාදය හැර අහේතුක 17, මහා කුසල් 8, ඤාණ විප්පයුත්ත මහා විපාක 4 යන මේවා ය. ද්විහේතුකයාගේ සිතුත් මේවාමය.

ත්‍රිහේතුක පෘථග්ජනයාගේ සිත් 54-

අකුසල් 12, හසිතුප්පාදය හැර අහේතුක 17, මහා කුසල් 8, මහා විපාක 8, මහග්ගත කුසල් 9 යන මේවා ය.

මාර්ගස්ථයන්ගේ සිත්, ඒ ඒ මාර්ග සිත ම ය.

සෝවාන් ඵලස්ථයාගේ සිත් 50-

ලෝභ මූල දිට්ඨි විප්පයුත්ත 4, ද්වේෂමූල 2, උද්ධච්ච සහගත සිත, හසිතුප්පාදය හැර අහේතුක 17, මහා කුසල් 8, මහා විපාක 8, මහග්ගත කුසල් 9, සෝවාන් ඵල සිත යන මේවා ය.

සකෘදාගාමි ඵලස්ථයාගේ සිත් 50-

සෝවාන් ඵලස්ථයාගේ සිත් පනසෙන් සෝවාන් ඵලය ඉවත් කොට එය වෙනුවට සකෘදාගාමි ඵලය ඇතුළු කොට ගත යුතුය.

අනාගාමි ඵලස්ථයාගේ සිත් 48-

දිට්ඨි විප්පයුත්ත සිත් 4, උද්ධච්ච සහගත සිත, හසිතුප්පාදය හැර අහේතුක 17, මහාකුසල් 8, මහා විපාක 8, මහග්ගත කුසල් 9, අනාගාමි ඵල සිත යන මේවා ය.

අර්හත් ඵලස්ථයාගේ සිත් 44-

අහේතුක 18, මහා විපාක 8, මහා ක්‍රියා 8, මහග්ගත ක්‍රියා 9, අර්හත් ඵල සිත යන මේවා ය.

ධ්‍යාන නො ලැබූ සාමාන්‍ය සත්ත්වයන් ගේ වශයෙන් සිත් ගණන් ගැනීමේ දී මහග්ගත සිත් හැර සිත් ගණන ගත යුතු ය.

13. භූමිවල සිත් ලැබෙන සැටි

මේ වීථි සිත් අසූව ම ඒ ඒ පුද්ගලයන්ට සුදුසු පරිදි කාමාවචර භූමියේ ලැබේ.

රූපාවචර භූමියෙහි ද්වේෂ මූල සිත් දෙකය, ඝාන - ජිව්හා - කාය විඤ්ඤාණ සයය, මහා විපාක අටය යන මේ සිත් දහසය හැර ඉතිරි වීථි සිත් හැට හතර ලැබේ.

අරූපාවචර භූමියෙහි ලෝභ මූල සිත් අටය, මෝහ මූල දෙකය, මනෝද්වාරාවජ්ජනය ය, මහා කුසල් අටය, මහා ක්‍රියා අටය, අරූපාවචර කුසල ක්‍රියා අටය, ප්‍ර‍ථම මාර්ගය හැර ලෝකෝත්තර සිත් සතය යන සිත් සතළිස් දෙක ලැබේ.

අසංඥ භූමියේ එක් සිතකුදු නො ලැබේ.

කොටින් ගණන්

  1. කාම භූමියේ - 80
  2. රූප භූමියේ - 64
  3. අරූප භූමියේ - 42

කාමාවචර භූමියෙහි වීථි සිත් සියල්ල ම ලැබෙන්නේ එහි ෂට් ද්වාරය හා පුද්ගලයන් සැම දෙනාමත් ලැබෙන බැවිනි. රූපාරූප භූමිවල ඇතැම් සිත් නො ලැබෙන්නේ ඒ සිත් උපදනා ද්වාර ඒවායේ නැති බැවිනි. ඒවායේ ද්වේෂ මූල සිත් නො ලැබෙන්නේ නීවරණයක් වන ද්වේෂය ධ්‍යානවලට බාධක හෙයිනි. ලෝභයත් ධ්‍යානවලට බාධකයෙකි. එහෙත් හැම ලෝභයක් ම නීවරණ වී ධ්‍යානවලට බාධා කරන්නේ නො වේ. එබැවින් ලෝභ මූල සිත් රූපාවචර අරූපාවචර භූමිවල ලැබේ. නීවරණ නො වන ද්වේෂයක් නැත්තේය. එබැවින් ද්වේෂ මූල සිත් සම්පූර්ණයෙන් රූපාවචර අරූපාවචර භූමිවල නො ලැබේ.

තදාලම්බනත් කාම සත්ත්වයන්ට පමණක් ලැබෙන සිත් කොටසකි. රූපාරූප ලෝකවල ඒවා නැත්තේ ය. එබැවින් ඒ භූමිවල ඇති වන අතිමහන්තාරම්මණ වීථිවල හා මනෝද්වාර විභූතාරම්මණ වීථිවල තදාලම්බන නො ලැබේ.

මෙතෙකින් සතර වන වීථි පරිච්ඡේදය නිමියේ ය.

5. පඤ්චම පරිච්ඡේදය

(භූමි සතරය, ප්‍ර‍තිසන්ධි සතරය, කර්ම සතරය, මරණෝත්පත්ති සතරය යන මේවා මේ පඤ්චම පරිච්ඡේදයෙහි විස්තර කරනු ලැබේ.)

1. භූමි චතුෂ්කය

අපාය භූමිය, කාම සුගති භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය කියා භූමි සතරෙකි. ‘භූමි’ යනු සත්ත්වයන් උපදින - ජීවත්වන ස්ථානයෝ ය.

නරක ය - තිරිසන් යෝනිය-ප්‍රේත විෂය-අසුරනිකාය ය කියා අපාය භූමි සතරෙකි.

සඤ්ජීවය - කාලසූත්‍ර‍ය - සඞ්ඝාතය - රෞරවය - මහා රෞරවය - තාපනය - මහා තාපනය - අවීචිය කියා මහා නරක අටෙකි. මේ මහා නරක, පොළොව ඇතුළෙහි එකිනෙකට යටින් පිහිටා ඇත්තේ ය. ඒවා සතරැස් ය. ඒවායේ බිමත් බිත්තිත් ලෝහයෙන් සෑදී තිබේ. උඩින් ද ලෝහ තහඩුවකින් වැසී තිබේ. ඇතුළ ගිනි දැල්වලින් පිරී ඇත්තේ ය. එක් එක් නරකයකට සතර දිශාවෙහි දොරටු සතර බැගින් ඇත්තේය. නරකයක ඇතුළ ප්‍ර‍මාණයෙන් එක් එක් දිශාවකට යොදුන් සියය බැගින් ඇත්තේ ය.

එක් එක් මහා නරකයකට පිට පැත්තේ එක් එක් දිශාවක කුඩා නරක සතර බැගින් ඇත්තේ ය. ඒවාට ‘ඔසුපත් නරකය’ යි කියනු ලැබේ. එක් මහා නරකයකට ඔසුපත් නරක දහසය බැගින් ඇත්තේ ය. මහා නරක අටෙහි ම ඔසුපත් නරක 128 ක් ඇත්තේ ය. වේතරණී නරකය, අසිපත්‍ර‍වන නරකය, කුක්කුල නරකය, ගූථ නරකය, සිම්බලීවන නරකය, ලෝහකුම්භී නරකය යනාදි නම් කියන්නේ මහා නරකයන් අවට පිහිටි ඔසුපත් නරකවලට ය.

තිරිසන් සත්ත්ව සමූහය ඉතා විචිත්‍ර‍ ය.

ඇසට නො පෙනෙන තරමේ කුඩා සත්ත්වයාගේ පටන් ඉතා මහත් සත්ත්වයා දක්වා නොයෙක් ප්‍ර‍මාණ වන්නා වූ ද, නොයෙක් සටහන් - නොයෙක් පැහැය ඇත්තා වූ ද බොහෝ සත්ත්වයන් ඇති බැවින් තිරිසන් යෝනිය ඉතා විචිත්‍ර‍ ය. ඔවුනට ම වෙන් වූ වාස භූමියක් නම් නැත. තිරිසන් ජාතිය ම තිරශ්චීන භූමිය හැටියට සලකනු ලැබේ.

“මේ ලෝකයෙන් පහව ගිය අය ය,” යන අර්‍ථයෙන් සමහර තැන්වල මළ අයට ද ප්‍රේත යන නාමය ව්‍යවහාර වේ. මේ අපාය කථාවෙහි ප්‍රේත යන නාමය ව්‍යවහාර වන්නේ සැපයෙන් පහ වූ දුඃඛිත සත්ත්ව කොට්ඨාසයකට ය.

ඕපපාතිකි වශයෙන් උපදනා වූ ඒ ප්‍රේතයෝ කර්මානුරූප ව නොයෙක් ප්‍ර‍මාණ නොයෙක් සටහන් නොයෙක් වර්ණ ඇති ව උපදිති. එබැවින් ප්‍රේත නිකාය ද ඉතා විචිත්‍ර‍ ය. ඔවුන්ට ද වෙන් වූ භූමියක් නැත. ප්‍රේත ජාතිය ම හෝ ඔවුන් වාසය කරන තැන හෝ ප්‍රේත භූමිය වශයෙන් සලකනු ලැබේ.

පරදත්තූපජීවිකය, ඛුප්පිපාසිකය, නිජ්ඣාමතණ්හිකය, කාලකඤ්ජිකය කියා ප්‍රේත ජාති සතරක් ඇති බව දක්වා තිබේ.

අනුන් දෙන දෙයින් ජීවත් වන්නෝ පරදත්තූප ජීවිකයෝ ය. ඔවුනට ආහාර පානාදිය ලැබෙන්නේ අනුන් දෙන පින් අනුමෝදන් වීමෙනි. පරදත්තූපජීවික ප්‍රේත ව උපන්නෝ ඥාතීන්ගෙන් පින් බලාපොරොත්තු වෙති.

ඛුප්පිපාසික යනු බත් පැන් නො ලැබීමෙන් නිතර ම සා ගින්නෙන් පිපාසාවෙන් පෙළෙන ප්‍රේත කොට්ඨාසයකි.

නිජ්ඣාමතණ්හික යනු ශරීරයේ ඇතුළත පිටත දෙක නිරතුරුවම දැවෙන ප්‍රේත කොට්ඨාසයකි.

කාලකඤ්ජික යනු ලේ මස් මඳ, වියළී ගිය තුන් ගවුපමණ ශරීර ඇති, කකුළුවන්ගේ මෙන් පිටතට නෙරූ ඇස් හිස් මුදුනේ පිහිටි, ඉතා කුඩා කටකුත් හිස මුදුනේ ම පිහිටා ඇති, හිස පහත් කොට ආහාර ගන්නා ප්‍රේත කොට්ඨාසය කැයි කියා තිබේ.

අසුර යන නාමය සත්ත්ව කොට්ඨාස කීපයකට ම ව්‍යවහාර වන නාමයෙකි. සතර අපායෙන් එකක් වන අසුර නිකායට අයත් සත්ත්වයෝ නම් කාලකඤ්ජික ප්‍රේතයෝ ය. ඔවුනට ද වෙන් වූ වාසස්ථානයක් නැත්තේ ය.

මහමෙර පත්ලෙහි අසුර භවනයෙහි වෙසෙන වේපචිත්ති -පහාරාද - සම්බර - බලි ආදි නම් ව්‍යවහාර කරන ආනුභාව සම්පන්න සත්ත්ව කොට්ඨාසයක් ඇත්තේ ය. දෙවියන්ට සතුරු බැවින් ඔවුන්ට ද අසුර යන නාමය කියනු ලැබේ. ඔවුහු අපායට අයත් සත්ත්වයෝ නො වෙති. ඔවුන් අයත් වන්නේ දේව කොට්ඨාසයකට ය. විනිපාතික අසුර නම් වූ තවත් සත්ත්ව කොට්ඨාසයක් ඇත්තේ ය. ඔවුහු චාතුර්මහාරාජික දේව කොට්ඨාසයට ම අයත් ආහාර පානාදිය අමාරුවෙන් ලබන සත්ත්ව කොට්ඨාසයකි. පියඞ්කරමාතා, උත්තර මාතා යනාදීහු විනිපාතික අසුර කොටසට අයත් වූවෝ ය. වේමානික ප්‍රේත අසුරයෝ ය කියා ද කොටසක් ඇත්තේ ය. ලෝකාන්තරික නරකයේ සත්ත්වයන්ට ද අසුරයෝ යි කියනු ලැබේ.

කාම සුගති භූමි

මනුෂ්‍ය භූමිය, චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුෂිතය, නිර්මාණරතිය, පරනිර්මිතවශවර්තය කියා කාම සුගති භූමි සතෙකි. අපාය භූමි සතර ය, මිනිස් ලොව, දිව්‍යලෝක සය ය යන මේ භූමි එකොළොස කාමාවචර භූමිහූ ය.

2. රූපාවචර - අරූපාවචර භූමි

බ්‍ර‍හ්මපාරිසජ්ජය, බ්‍ර‍හ්මපුරෝහිතය, මහාබ්‍ර‍හ්මය කියා ප්‍ර‍ථම ධ්‍යාන භූමි තුනෙකි.

පරිත්තාභය, අප්පමාණාභය, ආභස්සරය යි ද්විතීය ධ්‍යාන භූමි තුනෙකි.

පරිත්තසුභ ය, අප්පමාණසුභය, සුභකිණ්හකය යි තෘතීය ධ්‍යාන භූමි තුනෙකි.

වේහප්ඵලය, අසඤ්ඤසත්තය, සුද්ධාවාසය යන මේවා චතුර්ථධ්‍යාන භූමීහු ය.

අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සිය, අකනිට්ඨය කියා සුද්ධාවාස භූමි පසෙකි. මෙසේ රූපාවචර භූමි සොළොසෙකි.

ආකාසානඤ්චායතන භූමිය, විඤ්ඤාණඤ්චායතන භූමිය, ආකිඤ්චඤ්ඤායතන භූමිය, නේවසඤ්ඤානාසඤ්ඤායතන භූමිය කියා අරූපාවචර භූමි සතරෙකි.

කාමාවචර භූමි එකොළොසය, රූපාවචර භූමි සොළොසය, අරූපාවචර භූමි සතරය යි භූමි එක් තිසෙකි.

මිනිස් ලොව පටන් කාම සුගති භූමි එකිනෙකට උඩින් පිළිවෙළින් පිහිටා තිබේ. පරනිර්මිත වශවර්තියට උඩින් ප්‍ර‍ථම ධ්‍යාන භූමි තුන එක් තලයක පිහිටා තිබේ. ඒවාට උඩින් ද්විතීය ධ්‍යාන භූමි තුන එක් තලයක ද, ඒවාට උඩින් තෘතීය ධ්‍යාන භූමි තුන එක් තලයක ද, ඒවාට උඩින් වේහප්ඵල, අසංඥ සත්ත්ව යන චතුර්ථ ධ්‍යාන භූමි දෙක එක් තලයක ද පිහිටා ඇත්තේ ය. එවායින් මතුයෙහි ශුද්ධාවාස භූමි පස එකිනෙකට උඩින් පිහිටා තිබේ. ඒවාට උඩින් අරූප භූමි සතර පිළිවෙළින් පිහිටා තිබේ.

භූමි එක් තිසෙන් අසංඥ භූමියෙහි ඇත්තේ රූපස්කන්ධය වූ එක් ස්කන්ධයක් පමණෙකි. එබැවින් එයට ඒකවෝකාර භූමියයි කියනු ලැබේ. අරූප භූමිවල ඇත්තේ නාමස්කන්ධ සතර පමණෙකි. එබැවින් ඒවාට චතුවෝකාර භූමිය යි කියනු ලැබේ. කාමාවචර භූමි එකොළොසෙහි හා අසංඥ භූමියෙන් අන්‍ය රූපාවචර භූමි පසළොසෙහි ද පඤ්චස්කන්ධය ම ඇත්තේ ය. ඒවාට පඤ්චවෝකාර භූමිය යි කියනු ලැබේ.

පෘථග්ජන පුද්ගලයෝ ද සෝවාන් සකෘදාගාමි පුද්ගලයෝ ද ශුද්ධාවාස භූමිවල නැත්තා හ. අපාය භූමි සතරෙහි හා අසංඥ භූමියෙහි ආර්‍ය්‍යයෝ නැත්තා හ. අනික් භූමිවල ආර්‍ය්‍ය වූ ද, පෘථග්ජන වූ ද සියලු ම පුද්ගලයෝ ඇත්තා හ.

අපාය භූමි සතරෙහි ඇත්තේ දුර්ගති අහේතුකයා පමණෙකි. මනුෂ්‍ය භූමියෙහි හා චාතුර්මහාරාජිකයෙහි දුර්ගති අහේතුකයා හැර අන්‍ය පුද්ගලයන් එකොළොස් දෙනා ම ලැබෙන්නාහ. තාවතිංසයෙහි පටන් පරනිර්මිත වශවර්තිය දක්වා දිව්‍යලෝකවල අහේතුක පුද්ගලයන් හැර ඉතිරි පුද්ගලයෝ දස දෙන ලැබෙන්නාහ. බ්‍ර‍හ්ම පාරිසජ්ජයේ පටන් වේහප්ඵලය දක්වා ඇති රූපාවචර භූමිවල ත්‍රිහේතුක පෘථග්ජනයා ය, ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙනා ය යන නව දෙන ලැබෙත්. අසංඥ භූමියේ ලැබෙන්නේ එකම සුගති අහේතුක පුද්ගලයා ය. ශුද්ධාවාස භූමීන්හි උපරිම ආර්‍ය්‍ය පුද්ගලයෝ තිදෙනා ලැබෙත්. අරූප භූමිවල ත්‍රිහේතුක පෘථග්ජනයා ය, සෝවාන් මාර්ගස්ථයා හැර ආර්‍ය්‍ය පුද්ගලයෝ සත් දෙනාය යන අට දෙනා ලැබෙත්. ඒ ඒ භූමිවල ලැබෙන සියලු ම පුද්ගල සඞ්ඛ්‍යාව එකතු කළ හොත් දෙසිය දාහතර දෙනෙක් වෙති.

මිනිස් ලොව ගිහියෝ ද සෝවාන් - සකෘදාගාමි - අනාගාමි - අර්හත් යන මග ඵලවලට පැමිණෙති. රහත් වූ ගිහියෝ පැවිදිවීම හෝ පිරිනිවීම හෝ කෙරෙති. වැඩි කල් ගිහි ව නො වෙසෙති. බූමාටු දෙවිවරු රහත් වුව ද ආයු ඇති තෙක් එසේ ම ජීවත් වෙති. කාමාවචර දිව්‍යලෝකයන්හි අනාගාමීහු බ්‍ර‍හ්ම ලෝකයට හෝ යෙති. රහත් ව පිරිනිවීම හෝ කෙරෙති. දිව්‍ය ලෝකවල අනාගාමීන්ට හා රහතුන්ට වාසය කිරීමට සුදුසු තැන් නැත. රූපාවචර අරූපාවචර භූමිවල සියලු ම ආර්‍ය්‍යයෝ ආයු ඇති තාක් ජීවත් වෙති. රූපාවචර භූමිවලට පැමිණි සෝවාන් සකෘදාගාමි පුද්ගලයෝ ද නැවත කාම ලෝකයට නො එති. වේහප්ඵලය, අකනිට්ඨය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන මේ භූමි තුනට පැමිණි අනාගාමීහු නැවත අන් තැනකට නො යෙති. ඒ භූමිවලදී ම රහත් ව පිරිනිවන් පාති.

3. ප්‍ර‍තිසන්ධි චතුෂ්කය

අපාය ප්‍ර‍තිසන්ධිය, කාමසුගති ප්‍ර‍තිසන්ධිය, රූපාවචර ප්‍ර‍තිසන්ධිය, අරූපාවචර ප්‍ර‍තිසන්ධිය කියා ප්‍ර‍තිසන්ධි සතරෙකි.

අපාය ප්‍ර‍තිසන්ධි එකකි. එනම්: අකුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණ චිත්තය ය. මරණාසන්න කාලයේ දී අකුශල කර්මයක් හෝ අකුශල කර්ම නිමිත්තක් හෝ අපාය ගති නිමිත්තක් හෝ වැටහුණා වූ සත්ත්වයාට ච්‍යුති චිත්ත නම් වූ වර්තමාන භවයේ අන්තිම සිත නිරුද්ධ වනු සමග ම මරණාසන්නයේ වැටහුණු දෙය අරමුණු කරමින් අකුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණ චිත්තය අපාය භූමියේ පහළ වේ. ඒ සිත පහළ වීම ම ඒ සත්ත්වයා අපායෙහි ඉපදීම ය. අපායට යාම ය. ච්‍යුති චිත්තයට අනතුරුව ම මැරෙන සත්ත්වයාගේ සිත් වැලටම අයත් ව උපන්නා වූ ඒ චිත්තය නිසා අතීත භවය හා වර්තමාන අපාය භවයත් සම්බන්ධ වේ. එබැවින් ඒ සිතට ප්‍ර‍තිසන්ධි සිත යයි කියනු ලැබේ. ඒ සත්ත්වයාට ඉන් පසු ප්‍ර‍තිසන්ධියේ දී ඇති වූ ඒ උපේක්ෂා සහගත සන්තීරණ චිත්තය ඒ අපාය භවයට අයත් සිත් පරම්පරාව නො සිඳී යන පරිදි නැවත නැවත ඇති වන්නට පටන් ගනී. එසේ ඇති වන කල්හි එයට භවාඞ්ග චිත්තය යි කියනු ලැබේ. භවයේ අන්තිම සිත වශයෙන් ඇති වන්නේ ද ඒ සිත ම ය. මෙසේ අපාය භූමියෙහි උපදනා සත්ත්වයනට අකුශල විපාකෝපේක්ෂාසහගත සන්තීරණ චිත්තය ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති වශයෙන් පවතී. එක් සත්ත්වයකුට එක් භවයක දී ප්‍ර‍තිසන්ධිය වන්නේත් භවාඞ්ග චිත්තය වන්නේත් ච්‍යුති චිත්තය වන්නේත් එක ම සිතකි.

කාම සුගති ප්‍ර‍තිසන්ධි නවයෙකි. කුශල විපාකෝපේක්ෂාසහගත සන්තීරණය ය, මහා විපාක අටය යන මේ සිත් නවය කාම සුගති ප්‍ර‍තිසන්ධි සිත් ය.

ජාත්‍යන්ධාදි ඇතැම් හීන මනුෂ්‍යයන්ට ද, භූම්‍යස්ථ දෙවියන් ඇසුරු කරන ඇතැම් විනිපාතික අසුරයන්ට ද කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය ප්‍ර‍තිසන්‍ධිය වේ. මේ කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය ඉතා දුබල කුශලයක ගේ විපාක වශයෙන් ඇති වන්නකි.

මිනිස් ලොව කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් පිළිසිඳ ගන්නා සත්ත්වයෝ නම් උත්පත්තියෙන් ම අන්ධයෝ ය. බිහිරෝ ය, ගොළුවෝ ය, අඝානකයෝ ය, කෙළතොලුවෝ ය, පිස්සෝ ය, පණ්ඩකයෝ ය, උභතෝබ්‍යඤ්ජනකයෝ ය, නපුංසකයෝ ය, මම්මයෝය යන මොවුහු ය.

අඝානකයෝ නම් ඝ්‍රාණේන්ද්‍රිය නැත්තෝ ය. කෙළතොලුවෝ නම් වම දකුණ පවා නාඳුනන මෝඩයෝ ය. කටේ කෙළ රඳවා ගැනීමට තරම් වත් දැනුමක් ඔවුනට නැති නිසා ඔවුන් ගේ මුවින් කෙළ වැගිරෙයි. එබැවින් ඔවුනට කෙළතොලුවෝ යයි කියති. ස්ත්‍රී පුරුෂ භාවයන් පිළිබඳ විපර්යාස ඇතියෝ පණ්ඩකයෝ ය. ස්ත්‍රී පුරුෂ ලිඞ්ග දෙක ම ඇත්තෝ උභතෝබ්‍යඤ්ජනකයෝ ය. ස්ත්‍රී පුරුෂ භාව නැතියෝ නපුංසකයෝ ය. මහත් උත්සාහයෙන් එක අකුර දෙතුන් වර කියමින් කථා කරන්නෝ මම්මයෝ ය.

විනිපාතික අසුරයෝ නම් තමන් ගේ පිනෙන් ලද වාසස්ථානයක් නැති ගස් ගල් ගුහා සොහොන් බිම් කැලෑ ආදි ජන-ශූන්‍ය ස්ථානවල දුකසේ ජීවත් වන භූත කොට්ඨාසයකි. ඔවුනට යක්ෂයෝය යි ද කියති. ඔවුහු නගරවලට ගම්වලට ගොස් මිනිසුන් අහක දැමූ බත් මාලු ආදිය සොයා අනුභව කෙරෙති. සමහර විට ළදරුවන්ට හා රෝගීන්ටත් තවත් දුබල අයටත් පීඩා කොට ආහාර පාන ලබා ගනිති. කට්ටඩින් දෙන දොළ පිළිගන්නෝ ඔවුහු ය. සියලු ම විනිපාතික අසුරයෝ අහේතුක ප්‍ර‍තිසන්‍ධිකයෝ නොවෙති. ඔවුන් අතර ද්විහේතුක ත්‍රිහේතුකයෝ ද ඇත. ඔවුන් අතර ඇති ත්‍රිහේතුකයෝ සමහරවිට මාර්ගඵලවලට ද පැමිණෙති. විනිපාතික අසුරයන්ට අයත් පියංකරමාතා - පුනබ්බසුමාතා යන යකින්නන් දහම් අසා සෝවාන් ඵලයට පැමිණි බව අටුවාවල දක්වා තිබේ. පරදත්තූපජීවිකාදි ඇතැම් ප්‍රේතයන් හා යකුන් ද මේ ගණයට ඇතුළත් වන බව කියා තිබේ.

මහා විපාක සිත් අට කාමසුගති භූමි සතෙහි ම පටිසන්ධි - භවඞ්ග - ච්‍යුති වශයෙන් පවතී.

අකුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය, කුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණය, මහා විපාක අටය යන මේ සිත් දශය කාමාවචර ප්‍ර‍තිසන්ධි චිත්තයෝ ය.

කාම සත්ත්වයන් ගේ ආයුෂ

කාම සත්ත්වයන් අතුරෙන් සතර අපායයෙහි සත්ත්වයන්ටත් මිනිසුන්ටත් විනිපාතික අසුරයන්ටත් ආයු නියමයක් නැත්තේ ය.

චාතුර්මහාරාජිකයේ ආයුෂය දිව්‍ය ගණනින් වර්ෂ (500) පන්සියයෙකි. මනුෂ්‍යලෝකයේ අවුරුදු පනසක් චාතුර්මහාරාජිකයේ එක් දිනයෙකි. එබඳු දින තිසක් එහි මාසයකි. එබඳු මාස දොළොසක් වර්ෂයෙකි. එහි අවුරුදු පන්සියය ඒ අවුරුදුවලිනි. ඒ අවුරුදු පන්සියය මිනිස් ගණනින් අවුරුදු (90,00000) අනූ ලක්ෂයෙකි.

තාවතිංසයේ ආයුෂය චාතුර්මහාරාජිකයෙහි මෙන් සතර ගුණයෙකි. මෙසේ පරනිර්මිතවශවර්ති දිව්‍යලෝකය දක්වා දිව්‍යලෝක ආයුෂය එකිනෙක සතර ගුණය බැගින් වන්නේ ය.

තාවතිංසයේ ආයුෂය එහි වර්ෂ ප්‍ර‍මාණයෙන් වර්ෂ (1000) දහසකි. මිනිස්ලොව වර්ෂ සියයක් එහි එක් දිනයෙකි. මිනිස් වර්ෂ ගණනින් තාවතිංසයේ ආයුෂය වර්ෂ (3,60,00000) තුන්කෝටි හැට ලක්ෂයෙකි.

යාමයේ ආයුෂය එහි ගණනින් වර්ෂ (2000) දෙදහසකි. අපේ අවුරුදු දෙසියයක් එහි එක් දිනයෙකි. අපේ ගණනින් එහි ආයුෂය වර්ෂ (14,40,00000) දාහතර කෝටි හතළිස් ලක්ෂයෙකි.

තුෂිත දෙවියන්ගේ ආයුෂය එහි ගණනින් වර්ෂ (4000) සාර දහසෙකි. අපේ වර්ෂ සාරසියයක් එහි එක් දිනයෙකි. අපේ වර්ෂ ගණනින් එහි ආයුෂය වර්ෂ (57,60,00000) සත් පනස් කෝටි සැට ලක්ෂයෙකි.

නිර්මාණරති දෙවියන්ගේ ආයුෂය එහි ගණනින් වර්ෂ (8000) අට දහසකි. අපේ වර්ෂ අට සියයක් එහි එක් දිනයෙකි. අපේ ගණනින් එහි ආයුෂය වර්ෂ (230,40,00000) දෙසිය තිස් කෝටි සතළිස් ලක්ෂයෙකි.

පරනිර්මිත වශවර්ති දෙවියන්ගේ ආයුෂය එහි ගණනින් (16000) දහසය දහසකි. අපේ වර්ෂ එක්දහස් සසියයක් එහි එක් දිනයෙකි. අපේ වර්ෂවලින් එහි ආයුෂය වර්ෂ (921,60,00000) නවසිය විසි එක් කෝටි සැට ලක්ෂයෙකි.

4. රූපාවචර - අරූපාවචර ප්‍ර‍තිසන්ධි

රූපාවචර ධ්‍යානවල චතුෂ්ක ක්‍ර‍මය, පඤ්චක ක්‍ර‍මය නිසා ක්‍ර‍ම දෙකක් ඇත්තේ ය. චිත්ත පරිච්ඡේදයේ ධ්‍යාන සිත් දැක්වෙන්නේ පඤ්චක ක්‍ර‍මයෙනි. පඤ්චක ක්‍ර‍මය යනු ධ්‍යාන පසක් වන ක්‍ර‍මය ය. චතුෂ්ක ක්‍ර‍මය යනු ධ්‍යාන සතරක් වන ක්‍ර‍මය ය. සූත්‍ර‍‍ පිටකයේ දක්නා ලැබෙන්නේ ධ්‍යානවල චතුෂ්ක ක්‍ර‍මය ය. අභිධර්ම පිටකයේ ක්‍ර‍ම දෙකක් ම දක්වා තිබේ. චතුෂ්ක ක්‍ර‍මය පඤ්චක ක්‍ර‍මයට ඇතුළත් වන බැවින් චිත්තවිභාගය පඤ්චක ක්‍ර‍මය අනුව කර තිබේ. රූපාවචර භූමි ඇත්තේ චතුෂ්ක ක්‍ර‍මය අනුව ය. පඤ්චක ක්‍ර‍මයේ ද්විතීය තෘතීය ධ්‍යාන දෙක චතුෂ්ක ක්‍ර‍මයේ ද්විතීය ධ්‍යානය වේ.

රූපාවචර විපාක සිත්වලින් ප්‍ර‍ථම ධ්‍යාන විපාකය ප්‍ර‍ථම ධ්‍යාන භූමියෙහි ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති වශයෙන් පවතී.

ද්විතීය ධ්‍යාන විපාක සිත හා තෘතීය ධ්‍යාන විපාක සිත ද්විතීය ධ්‍යාන භූමියෙහි ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති වශයෙන් පවතී.

චතුර්ථ ධ්‍යාන විපාකය තෘතීය ධ්‍යාන භූමියෙහි ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති වශයෙන් පවතී.

අසංඥ භූමියෙහි ප්‍ර‍තිසන්ධිය වශයෙන් ඇති වන්නේ ද රූපම ය. ප්‍ර‍වෘත්ති කාලයේ දී ද එහි ඇත්තේ රූපම ය. ඒ භවයෙන් ච්‍යුත වන කාලයේදී ද ඒ රූප පරම්පරාව නිරුද්ධ වේ.

මේ සය රූපාවචර ප්‍ර‍තිසන්ධීහු ය.

රූපාවචර භූමින්හි ආයුඃ ප්‍ර‍මාණය

රූපාරූප ලෝකවල ආයුෂය ඉතා දීර්ඝ බැවින් වර්ෂ ගණන්වලින් නො දැක්විය හැකි ය. ඒවායේ ආයුඃ ප්‍ර‍මාණය දක්වා තිබෙන්නේ කල්පවලිනි. කල්පය අති දීර්ඝ කාලයෙකි. රූපාරූප ලෝකවල ආයුෂය එපමණ දික්වෙන්නේ ඉතා බලවත් කුශලයකින් එහි උපදින නිසා ය.

ප්‍ර‍ථම ධ්‍යාන භූමිවලින් බ්‍ර‍හ්මපාරිෂද්‍යයේ ආයුඃ ප්‍ර‍මාණය අසඞ්ඛ්‍ය කල්පයකින් තුනෙන් පංගුවකි. බ්‍ර‍හ්මපුරෝහිතයෙහි ආයුෂය අසඞ්ඛ්‍ය කල්පයෙන් අඩකි. මහාබ්‍ර‍හ්මයෙහි ආයුෂය එක් අසඞ්ඛ්‍ය කල්පයෙකි. මේ බ්‍ර‍හ්මලෝක තුන කල්පයක් පාසා ම විනාශ වන බැවන් මහා බ්‍ර‍හ්මයෙහි සම්පූර්ණ අසඞ්ඛ්‍ය කල්පයක් ජීවත් වන්නට ලැබෙන්නේ, කල්පය පටන් ගැනීමේ දී එහි උපනුන්ට පමණෙකි. කල්ප විනාශය ළංව තිබිය දී මේ භූමිවල උපදනා අයට සම්පූර්ණ ආයුෂය වළඳන්නට නොලැබේ.

ද්විතීය ධ්‍යාන භූමිවලින් පරිත්තාභයෙහි ආයුෂය මහා කල්ප දෙකකි. අප්පමාණාභයෙහි ආයුෂය මහා කල්ප සතරෙකි. ආභස්සරයෙහි ආයුෂය මහා කල්ප අටෙකි. මතු බ්‍ර‍හ්මලෝකවල ආයුෂය ද මහා කල්ප වලින් ම දත යුතු ය.

තෘතීය ධ්‍යාන භූමිවලින් පරිත්තසුභයෙහි ආයුෂය කල්ප සොළොසකි. අප්පමාණසුභයෙහි කල්ප දෙතිසකි. සුභකිණ්හයෙහි කල්ප සැට සතරෙකි.

චතුර්ථ ධ්‍යාන භූමිවලින් වේහප්ඵල අසංඥ සත්ත්ව භූමි දෙක්හි ආයුෂය කල්ප පන්සියය බැගිනි. අවිහයේ කල්ප දහසෙකි. අතප්පයෙහි කල්ප දෙදහසකි. සුදස්සයෙහි කල්ප සාරදහසෙකි. සුදස්සියෙහි කල්ප අටදහසෙකි. අකනිට්ඨයෙහි කල්ප සොළොස් දහසෙකි.

ආකාසානඤ්චායතනාදි අරූප විපාක සිත් සතර පිළිවෙළින් ආකාසානඤ්චායතනාදි භූමි සතරෙහි ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - චුති වශයෙන් පවතී. අරූප ප්‍ර‍තිසන්ධි සතරෙකි.

අරූප භූමීන්හි ආයුඃ ප්‍ර‍මාණය

ආකාසානඤ්චායතනයෙහි කල්ප විසි දහසෙකි. විඤ්ඤාණඤ්චා-යතනයෙහි කල්ප සතළිස් දහසෙකි. ආකිඤ්චඤ්ඤායතනයෙහි කල්ප සැට දහසෙකි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි කල්ප අසූසාර දහසෙකි.

“අන්තඃ කල්පය, අසඞ්ඛ්‍ය කල්පය, මහා කල්ප ය” යි කල්ප තුනෙකි. මිනිසුන් ගේ ආයුෂය ක්‍ර‍මයෙන් පිරිහී ගොස් දස අවුරුද්ද පරමායුෂය වන කාලයක් පැමිණේ. ඒ කාලයේදී රෝගවලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැති වීමෙන් හෝ මහා මිනිස් විනාශයක් වේ. ඉතා ටික දෙනකු පමණක් ඉතිරි වේ. ඉන් පසු මිනිසුන් සුචරිතයෙහි හැසිරෙන්නට පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාව මඳින් මඳ ඔවුන් ගේ ආයුෂය වැඩෙන්නට පටන් ගනී. ඒ වැඩීම වර්ෂ අසඞ්ඛ්‍යය දක්වා වැඩේ. ඉන් පසු දුසිරිතට හැරීමෙන් නැවතත් මිනිස්සු පිරිහෙන්නට පටන් ගනිති. ක්‍ර‍මයෙන් පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලයට එළඹේ. ඒ කාලයේ දී නැවතත් මිනිස් විනාශයක් වේ.

මිනිස් ආයුෂය දශ වර්ෂයෙන් පටන් ගෙන අසඞ්ඛ්‍යය දක්වා වැඩී, නැවත දශ වර්ෂය පරමායුෂය වන තෙක් පිරිහීමට ගතවන කාලයට අන්තඃකල්පය යි කියනු ලැබේ.

“සංවර්තය-සංවර්තස්ථායි-විවර්තය-විවර්තස්ථායි” යයි අසඞ්ඛ්‍ය කල්ප සතරෙකි.

ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ දීර්ඝ කාලයකට වරක් මේ මහ පොළොව දිව්‍ය ලෝක හා ඇතැම් බ්‍ර‍හ්ම ලෝකත් සමග විනාශ වෙයි. ලෝකය වරක් විනාශ වී යෑමටත් ඉතා දීර්ඝ කාලයක් ගත වේ. ලෝකය නැසෙමින් පවත්නා කාලය සංවර්ත කල්ප නම් වේ. ලෝකය විනාශ වීමෙන් පසු විනාශ වන්නට ගත වූ කාලය තරම් කාලයක් සිස් ව පවතී. ඒ කාලය සංවර්තස්ථායී කල්ප නම් වේ. නැවත ලෝකය මඳින් මඳ හැදෙන්නට පටන් ගනී. ලෝකය හැදී සම්පූර්ණ වීමට ගත වන කාලය විවර්ත කල්ප නම් වේ. ලෝකය සම්පූර්ණ වී නැවත විනාශ වන්නට පටන් ගැනීම දක්වා පවත්නා කාලය විවර්තස්තායි නම් වේ. මේ අසඞ්ඛ්‍ය කල්ප සතර එක් මහා කල්පයෙකි. අසඞ්ඛ්‍ය කල්පයක ප්‍ර‍මාණය, අන්තඃ කල්ප විස්සකි. මහා කල්පයේ ප්‍ර‍මාණය අන්තඃ කල්ප අසූවකි.

පිළිවෙළින් සත් වරක් ගින්නෙන් ලෝකය නැසේ. අටවන වාරයේ ජලයෙන් නැසේ. මෙසේ නැසෙන ලෝකය සූ සැට වන වාරයේ දී වායුවෙන් නැසේ. ගින්නෙන් ලෝකය විනාශ වන කල්හි ආභස්සරයෙන් යට සියල්ල නැසේ. ජලයෙන් විනාශ වන කල්හි සුභකිණ්හයෙන් යට ද, වාතයෙන් විනාශ වන කල්හි වේහප්ඵලයෙන් යට ද සියල්ල විනාශ වේ.

5. කර්ම චතුෂ්කය

කර්මය යනු කුශලාකුශල දෙකට ම සාධාරණ නමෙකි. කුශලයට කුශල කර්ම යි ද, අකුශලයට අකුශල කර්මය යි ද කියනු ලැබේ.

සාමාන්‍යයෙන් එකක් වන කර්මය එයින් සිදු කරන කෘත්‍යයන් ගේ වශයෙන් සතරකට ද විපාක දීමේ පිළිවෙළ අනුව සතරකට ද, විපාක දීමේ කාලය අනුව සතරකට ද, විපාක දෙන ස්ථානයන් ගේ වශයෙන් සතරකට ද බෙදා තිබේ.

කෘත්‍ය කර්ම චතුෂ්කය

කුශලාකුශල කර්මවලින් සිදු කරන වැඩ සතරක් ඇත්තේ ය. (1) විපාක සිත් හා රූප ඉපදවීම, (2) යම් කිසි කර්මයකින් උපන් සත්ත්වයාට කලක් ජීවත් වීමට උපකාර කිරීම, (3) සත්ත්වයාහට සැපසේ ජීවත් වන්නට නො දී වරින් වර පීඩා කිරීම, (4) යම් කිසි කර්මයකින් උපන් සත්ත්වයා මරා දැමීම යන මේ සතර කුශලාකුශල කර්මයන් විසින් කරනු ලබන කෘත්‍යයෝ ය.

  1. ජනක කර්මය
  2. උපස්තම්භක කර්මය
  3. උපපීඩක කර්මය
  4. උපඝාතක කර්මය

කියා සිදු කරන කෘත්‍යයන් ගේ වශයෙන් කර්ම සතරක් ඇත්තේ ය. ඒ සතරට කෘත්‍ය කර්ම චතුෂ්කය යි කියනු ලැබේ.

ප්‍ර‍තිසන්ධි ප්‍ර‍වෘත්ති කාල දෙක්හි විපාක සිත් හා රූප උපදවන කුශලාකුශලය ජනක කර්ම නම් වේ. හැම රූපයක් ම කර්මයෙන් නූපදවනු ලැබේ. කර්මයෙන් උපදවන රූප කොට්ඨාසයක් ඇත්තේ ය. ඒවා රූප කාණ්ඩයේ දී දත හැකි වනු ඇත.

සත්ත්වයකු භවයෙහි පළමුවෙන් උපදනා අවස්ථාව ප්‍ර‍තිසන්ධි කාල නම් වේ. ඉපදීමෙන් පසු ජීවත් වන කාලය ප්‍ර‍වෘත්ති කාල නම් වේ. කර්මයෙන් සිදු කරන මහත් දෙය ප්‍ර‍තිසන්ධිය ඇති කිරීම ය. සුගතියට යැවීමය කියන්නේත් අපායට යැවීමය කියන්නේත් ප්‍ර‍තිසන්ධිය ඇති කිරීමට ය. සැම කර්මයකට ම ප්‍ර‍තිසන්ධියක් දීමේ ශක්තිය නැත. ප්‍ර‍තිසන්ධි දාන ශක්තිය ඇත්තේ බලවත් කර්මයන්ට පමණෙකි. ප්‍ර‍වෘත්ති විපාක ඇති කිරීමේ ශක්තිය සියලු කර්මවලට ම ඇත්තේ ය. යම් කිසි කුශලයකින් හෝ අකුශලයකින් හෝ උපන්නා වූ සත්ත්වයා හට අන්තරාය වැළැක්වීමෙන් හා ජීවත් වීමට වුවමනා දෑ ලබා දීමෙන් ද චිර කාලයක් ජීවත් වීමට උපකාර වන කර්මය උපස්තම්භක කර්ම නම් වේ.

කුශල කර්මයෙන් උපන්නා වූ ද අකුශල කර්මයෙන් උපන්නා වූ ද සත්ත්වයනට කුශල කර්මයා ගේ උපස්තම්භනය ලැබේ. ඇතැම් විනිපාතික අසුරාදීන්ට පෙර කළ අකුශල කර්මය චිර කාලයක් ජීවත් වීමට උපස්තම්භනය කරන බව ද කියා තිබේ.

අන්‍ය කර්මයකින් උපන් සත්ත්වයාහට නොයෙක් රෝග ඇති කිරීම්-සතුරන් ඇති කිරීම් - කෙත් වතුවලට හානි පැමිණවීම් - රස්සාව නැති කිරීම් - නින්දා ලබාදීම් - චෝදනා ඇති කිරීම් ආදියෙන් වරින් වර පීඩා කරන්නා වූ කර්මය උපපීඩක කර්ම නම් වේ. කුශලාකුශල දෙකින් ම උපන් සත්ත්වයනට වරින් වර අකුශල කර්මවලින් පීඩා කරන බව කිය යුතු ය. සත්ත්වයන් කෙරෙහි බල පවත්වන කුශල උපපීඩක කර්ම අප්‍ර‍කට ය.

අන්‍ය කර්මයකින් උපන් සත්ත්වයකුට ඒ ජාතියේ සැටියට ජීවත් විය යුතු තරම් කාලයක් ජීවත් වන්නට නො දී අතරදී ජීවිතය නසන කර්මය උපඝාතක කර්ම නම් වේ. උපච්ඡේදක කර්මය යනු ද උපඝාතක කර්මයට තවත් නමෙකි. බොහෝ සෙයින් උපඝාතක වන්නේ ද අකුශල කර්ම ම ය. කුශල උපඝාතක කර්ම ද නැත්තේ නො වේ. ඒවා අප්‍ර‍කට ය.

උපස්තම්භක - උපපීඩක - උපඝාතක වශයෙන් විශේෂ කර්ම කොට්ඨාසයක් නැත්තේ ය. එතෙක් විපාකයක් ඇති කිරීමට අවකාශයක් නොලැබුවා වූ ද, තමාගේ විපාකය ඇති කොට අවසන් කළා වූ ද කුශලාකුශල ජනක කර්මයෝ ඒ ඒ අවස්ථාවලදී උපස්තම්භනාදිය සිදු කෙරෙති. උපස්තම්භනාදි ක්‍රියාවන් නිමිත්ත කොට ජනක කර්මයට ම උපස්තම්භන කර්මාදි නම් කියනු ලැබේ.

උපච්ඡේදක කර්මයන් ගෙන් ඇතැමෙක් සත්ත්වයකුගේ ජීවිතය නැති කිරීම පමණක් කරති. තමාගේ විපාකය ගෙන නො දේ. ඇතැම් උපච්ඡේදක කර්මයක් සත්ත්වයාගේ ජීවිතය නසා ඒ සත්ත්වයා දෙවන ජාතියේ අපායට පැමිණවීම් වශයෙන් තමාගේ විපාකය ද ඇති කෙරේ. බිම්බිසාර රජුට හා සාමාවතී ආදි රාජදේවීන්ට පැමිණි උපඝාතක කර්මයෙන් ඔවුන්ගේ දිවි නැසීම පමණක් කරන ලදී. දේවදත්ත - චිඤ්චමාණවිකාව හා මහාප්‍ර‍තාප රාජාදීන්ට පැමිණි උපඝාතක කර්මවලින් ඔවුන්ගේ දිවි නසා ඔවුන් අපායට පැමිණවීම ද කරන ලදී. අපායට පැමිණවීම උපච්ඡේදක කර්මය තමාගේ විපාකය ඇති කිරීම ය.

කුශලාකුශල කර්මයන්ගේ උපස්ථම්භන උපපීඩන උපඝාතනයන් සත්ත්වයන්ට පමණක් නොව කර්ම වලට ද ඇත්තේ ය. කරන්නාවූ අවස්ථාවේ දී දුබල වන කුශලාකුශල කර්මය පසු ව කරන්නා වූ කුශලාකුශල කර්මවල උපස්තම්භනයෙන් බලවත් වේ. ඒ උපස්තම්භනයෙන් දිළිඳු කුලයක උපදවන කර්මය බලවත් වී පොහොසත් කුලයක උපදවන්නක් වේ. මඳ ආයු ඇති ව උපදවන කර්මය බලවත් වී දීර්ඝායුෂ ඇති තැනක උපදවන්නක් වේ. පහළ දිව්‍ය ලෝකයක උපදවන කර්මය බලවත් වී ඉහළ දිව්‍ය ලෝකයක උපදවන්නක් වේ. අකුශලය ද එසේ ම බලවත් වීමෙන්, තිරිසන් යෝනියෙහි උපදවන අකුශලය බලවත් වී ප්‍රේත ලෝකයෙහි උපදවන්නක් ද, ප්‍රේත ලෝකයෙහි උපදවන අකුශලය නරකයෙහි උපදවන්නක්ද, මඳ දුක් ඇති නරකයක උපදවන කර්මය වඩා දුක් ඇති නරකයක උපදවන්නක් ද වේ.

කරන්නා වූ අවස්ථාවේ දී බලවත් වූ කුශලාකුශල කර්මය පසුව කරන්නා වූ ඒ ඒ කුශලාකුශලයන්ට විරුද්ධ ව කුශලාකුශල කර්මවල පීඩනයෙන් දුබල වේ. රාජකුලාදි උසස් තැනක උපදවන ශක්තිය තුබූ කුශලය, අකුශලයන්ගේ පීඩනයෙන් දුබල වී දිළිඳු කුලයක උපදවන්නක් වේ. ඉහළ දිව්‍ය ලෝකයක උපදවන කුශල කර්මය පිරිහී පහළ දිව්‍ය ලෝකයක උපදවන්නක් වේ. මහා නරකයක උපදවන්නට තරම් බලවත් වූ අකුශලය කුශල කර්මයන්ගේ පීඩනයෙන් දුබල ව කුඩා නරකයක හෝ ප්‍රේත තිරිසන් යෝනිවල හෝ උපදවන්නක් වේ. පව් කම් කළවුන් විසින් ඒවායේ විපාකදාන ශක්තිය හීන කර ගැනීම පිණිස ඒ ඒ පව්වලට විරුද්ධ කුසල් කළ යුතු ය.

ඇතැම් කුශලාකුශල කර්මයක් තවත් කර්මයක විපාකය සම්පුර්ණයෙන් ම වළක්වයි. ලෝකෝත්තර අර්හන්මාර්ග කුශලය ඇති වූ කල්හි අනාගත භවයන්හි විපාක දීමට ඇති කර්ම සියල්ල ම අවිපාක භාවයට පැමිණේ. එබැවින් අර්හන්මාර්ග කුශලය කුශලාකුශල කර්ම සියල්ල ම සිඳින උපඝාත කර්මයෙකි.

6. විපාක දානානුක්‍ර‍ම කර්ම චතුෂ්කය

  1. ගරුක කර්මය
  2. ආසන්න කර්මය
  3. ආචීර්ණක කර්මය
  4. කෘතත්වාත් කර්මය

ක්‍රියා විපාක දීමේ පිළිවෙළ අනුව කර්ම සතරෙකි. මේ කර්ම සතරට “පාකදාන පර්‍ය්‍යාය කර්ම චතුෂ්කය” යි ද කියනු ලැබේ.

ගරුක කර්මය

දෙවන ජාතියේ ඒකාන්තයෙන් තමාගේ විපාකය ගෙන දෙන බලවත් කුශලාකුශල කර්මය ගරුක කර්ම නම් වේ.

කුශල පක්ෂයෙහි රූපාවචර-අරූපාවචර කුශලයෝ ගරු කර්මයෝ ය. රූපාවචර - අරූපාවචර ධ්‍යාන ලාභියකු යම්කිසි කාම භවයක් ගැන ප්‍රාර්ථනයක් නැති ව ධ්‍යානයෙන් ද නො පිරිහී කාලක්‍රියා කළ හොත් ඒ තැනැත්තා ඒකාන්තයෙන් මහග්ගත කුශලය විපාක දීම් වශයෙන් බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදී. ගරු කර්ම වන කාමාවචර කුසල් නැත්තේ ය.

අකුශල පක්ෂයයෙහි පඤ්චානන්තර්‍ය්‍ය කර්මය හා නියත මිථ්‍යාදෘෂ්ටි කර්මය ගරුක කර්මයෝ ය. මරණයට කලින් දෘෂ්ටිය කළ හොත් නියත මිථ්‍යාදෘෂ්ටිකයා නිදහස් වේ. ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන්ට දෙවන ජාතියේ අපායයෙන් මිදීමට උපක්‍ර‍මයක් නැත්තේ ය.

ගරු කර්මයක විපාකය වැළැක්විය හැක්කේ, ගරු කර්මයකට පමණෙකි. එබැවින් ගරු කර්ම කීපයක් ඇති තැනැත්තා එයින් එක් කර්මයක විපාක වශයෙන් දෙවන ජාතියේ උත්පත්තිය ලබන්නේ ය. ඒ විපාක දෙන කර්මය නිසා ඉතිරි ගරු කර්මයන්ගේ විපාකය වැළකී යන්නේ ය.

ආසන්න කර්මය

මරණාසන්න කාලයේ දී කළා වූ ද, සිහි කළා වූ ද කර්මය ආසන්න කර්ම නම් වේ. ගරුක කර්මයක් නැති තැනැත්තාගේ මරණින් මතු උපත සිදුවන්නේ ආසන්න කර්මයේ සැටියට ය. කොතෙක් පව්කම් කර ඇතියකුට වුව ද මරණාසන්නයේ දී කුශලයක් කර ගත හැකි වුව හොත් සුගතියෙහි ඉපදිය හැකි ය. කළ පව්කම් අමතක කොට කුශලයක් සිහි කර ගත හැකි වී නම්, එයින් සුගතියෙහි ඉපදිය හැකි ය. බොහෝ පින් කර ඇති අයට ද මරණාසන්නයේ පව් කර්‍ම සිහි වීමෙන් අපාගත වන්නට ද සිදු වේ. මරණාසන්නයේ දී පින් කරවන, පින් සිහි කර දෙන කල්‍යාණ මිත්‍ර‍යකු ලැබීම ඉතා ප්‍රයෝජන ය.

ආචීර්‍ණක කර්මය

වරක් කොට දීර්ඝ කාලයක් නැවත නැවත සිහි කළා වූ ද, දිනපතා කිරීමෙන් හෝ සතියකට - මසකට - වසකට වරක් බැගින් ජීවිතයෙහි දීර්ඝ කාලයක් නැවත නැවත කළා වූ ද කුශලාකුශල කර්ම ආචීර්ණක කර්ම නම් වේ. නැවත නැවත යම්කිසි කර්මයක් කරන කල්හි මුලින් මුලින් කළ කර්ම උපනිඃශ්‍ර‍ය වීමෙන් පසු පසුව කරන කර්ම බලවත් වේ. මසකට වරක් මාස කීපයකට වර්ෂයකට වරක් කරන කර්ම ආචීර්ණක කර්ම භාවයෙන් බලවත් වන්නේ මතක සිටින තරමට කරන මහත් කර්ම පමණෙකි. ගරුක කර්මය ළඟට බලවත් කර්මය වන්නේ ආචීර්ණක කර්මය ය. එහෙත් විපාක දීමේ දී ආසන්න කර්මය ම ඉදිරියට යයි.

කෘතත්වාත් කර්මය

ගරුක - ආසන්න - ආචීර්ණක කර්ම තුනට අත් නො වන වර්තමාන භවයේ කළ කර්ම හා අතීත භවවල දී කළ කර්ම ද කෘතත්වාත් කර්ම නම් වේ. ගරුකාදි කර්ම තුනෙන් එකකුදු නැති කල්හි අනතුරු භවයේ ඉපදීම කෘතත්වාත් කර්මයෙන් සිදු වේ. මේ චතුෂ්කයේ ගරුකාදි භාවයෙන් කියනු ලබන්නේ කෘත්‍ය කර්ම චතුෂ්කයේදී කියවුණු ජනක කර්ම ම ය.

7. පාකකාල කර්ම චතුෂ්කය

  1. දෘෂ්ටධර්‍මවේද්‍ය කර්‍මය
  2. උපපද්‍යවේද්‍ය කර්‍මය
  3. අපරාපර්‍ය්‍යවේද්‍ය කර්‍මය
  4. අහෝසි කර්‍මය

මෙසේ විපාක දීමේ කාලය අනුව කර්ම සතරෙකි. මේ කර්ම සතර තේරුම් ගත හැකි වීමට ජවන් සිත්වල සැටි තේරුම් ගත යුතු ය. කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම්කිසි ක්‍රියාවක් සිදු කිරීම් වශයෙන් උපදනා චිත්ත වීථියක ඒ ක්‍රියාව සිදු කරන ජවන චිත්තය පිළිවෙළින් සත් වරක් උපදී. ඒවායින් පළමුවන ජවන චිත්තය දුබලය. දෙවන ජවන චිත්තය පළමුවන චිත්තයේ ස්වභාවය ගෙන ඉපදීමෙන් බලවත් වේ. තුන්වන ජවන චිත්තය දෙවන චිත්තයට ද වඩා බලවත් වේ. සතරවන ජවන චිත්තය එයට ද වඩා බලවත් වේ. සතරවන ජවනයෙන් පසු උපදනා සිත් ක්‍ර‍මයෙන් නැවත එකින් එකට බලයෙන් හීන ව උපදී. සත් වන ජවනයෙන් පසුත් නැවත ජවන් සිත් නූපදින්නේ ඒ හීන වීම නිසා ය. තමාගේ ජාතියේ සිතක ආශ්‍ර‍ය නො ලැබ පළමුවෙන්ම උපදනා බැවින් ජවන් සිත් සතෙන් පළමුවැන්න සියල්ලටම දුබල ය. අන්තිම ජවනයත් දුබල ය. එහෙත් සමාන සිතක ආශ්‍ර‍ය ලබා ඇති බැවින් එය පළමු වන ජවනයට වඩා බලවත් ය. වීථියේ මැද ජවන් සිත් පස ඒ දෙකට ම වඩා බලයෙන් යුක්ත ය.

දෘෂ්ටධර්මවේද්‍ය කර්මය

වර්තමාන ජාතියේ විපාක දෙන කර්මය දෘෂ්ටධර්මවේද්‍ය කර්ම නම් වේ. දෘෂ්ටධර්මවේද්‍ය වන්නේ ජවන් සතෙන් ප්‍ර‍ථම ජවන චේතනාව ය. දුබල වූ ප්‍ර‍ථම ජවන චේතනාවට ශක්තිය ඇත්තේ වර්තමාන භවයේ දී අහේතුක විපාක ඇති කිරීමට පමණෙකි. මරණින් පසු විපාක ඇති කිරීමට ශක්තිය ප්‍ර‍ථම ජවන චේතනාවට නැත. වර්තමාන භවයේ විපාක ඇති කරන්නේ ද ඉතා බලවත් කුශලාකුශලයන්ගේ ප්‍ර‍ථම ජවන චේතනා පමණෙකි.

ඉතා ගුණවතුන්ට මහත් සැදැහැයෙන් කරන පූජා සත්කාර කිරීමේ කුස්ල මෙලොව ම විපාක දේ. වස්තු සම්පත්තිය - ක්ෂේත්‍ර‍ සම්පත්තිය - අධ්‍යාශය සම්පත්තිය - ගුණාතිරේක සම්පත්තිය යන සතරින් යුක්ත වන දානමය කුශලය මෙලොව විපාක දෙන බව දක්වා ඇත්තේ ය. පූර්ණක සිටු, ඒකසාටක බ්‍රාහ්මණ, සුමනමාලාකාර යනාදීන්ට වර්තමාන ජාතියේ ම පින් විපාක දුන් බව දක්වා තිබේ.

ලොවුතුරා බුදුවරුන්ට - පසේ බුදුවරුන්ට - රහතුන්ට - අපරාධ කළ අයට ද, මහා ගුණවතුන්ට - මාපියන්ට - තමාට උපකාර කළ මිතුරන්ට අපරාධ කළ අයට ද, ඒ පාප කර්මවල විපාකය වර්තමාන භවයේ දී නොයෙක් විට ලැබුණ බව කියා තිබේ. කලාබු රජ - මහා ප්‍ර‍තාප රජ - මිත්තවින්දක යනාදීහු වර්තමාන භවයේ දී ම අකුශල විපාක ලැබුවෝ ය.

සාමාන්‍ය කුශලාකුශලයන්ගේ ප්‍ර‍ථම ජවන චේතනා ද සමහරවිට වර්තමාන භවයේ විපාක නො දෙන්නේ නො වේ. එහෙත් ඒ බව කර්මය කළ තැනැත්තාට නො දැනේ.

උපපද්‍යවේද්‍ය කර්මය

වර්තමාන භවයට අනතුරු භවයේ (දෙවන භවයේ) විපාක දෙන කර්මය උපපද්‍යවේදනීය කර්ම නම් වේ. උපපද්‍යවේදනීය වන්නේ වීථියේ ජවන් සතෙන් අන්තිම ජවන චේතනාව ය. එය වැටීගෙන යන ජවන්වල අන්තිම සිත වන බැවින් ඉතා දුබල ය. එහෙත් සවන ජවනයෙන් ආසේවනය ලබා ඇති බැවින් ප්‍ර‍ථම ජවනයට වඩා මඳක් බලවත් ය. එබැවින් එය ප්‍ර‍ථම ජවනය තරමට ඉක්මනට විපාකයක් ඇති නො කොට දෙවන ජාතියේ ප්‍ර‍තිසන්ධි ප්‍ර‍වෘත්ති විපාක ඇති කරයි. ඉන් ඔබ්බෙහි විපාකයක් ඇති කිරීමට සත්වන ජවනය සමත් නො වේ.

අපරාපර්‍ය්‍යවේද්‍ය කර්මය

තුන් වන ජාතියේ පටන් නිවනට පැමිණීම දක්වා කාලය තුළ දී විපාක දීමේ ශක්තිය ඇති කර්මය අපරාපර්‍ය්‍යවේද්‍ය කර්ම නම් වේ. අපරාපර්‍ය්‍යවේද්‍ය කර්ම වන්නේ චිත්ත වීථිවල මැද ජවන් පස ය. ඒවා බලවත් බැවින් පළමු වන සත් වන ජවනයන් මෙන් ඉක්මනින් විපාක ඇති නො කොට තුන් වන ජාතියේ පටන් නිවනට පැමිණීම දක්වා ඇති කාලය තුළ දී අවකාශ ලැබෙන ලැබෙන පරිදි තමාගේ විපාකය ගෙන දෙන්නේ ය. කොතෙක් පරණ වුව ද, කල්ප දහස් ගණනක් ගත වුව ද පුද්ගලයා සසර සැරිසරනවා නම් අපරාපර්‍ය්‍යවේද්‍ය කර්ම නැති නො වේ. එක් චේතනාවකින් ප්‍ර‍තිසන්ධි විපාක ඇති කරන්නේ එක් වරක් පමණෙකි. ප්‍ර‍වෘත්ති විපාක නොයෙක් වාරවලදී ඇති කෙරේ.

අහෝසි කර්මය

කිසි කලෙක විපාකයක් ඇති නො කරන කර්ම අහෝසි කර්ම නම් වේ. වර්තමාන ජාතියේ විපාක දීමට අවස්ථාව නො ලැබූ ප්‍ර‍ථම ජවන චේතනාවෝ ද දෙවන ජාතියේ විපාක දීමට අවස්ථාව නො ලැබූ සප්තම ජවන චේතනාවෝ ද විපාක දීමට තැනක් නො ලබන මධ්‍ය ජවන චේතනාවෝ ද අහෝසි කර්ම නම් වෙති.

විපාකස්ථාන කර්ම චතුෂ්කය

අකුශල කර්මය, කාමාවචර කුශල කර්මය, රූපාවචර කුශල කර්මය, අරූපාවචර කුශල කර්මය කියා විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්ම සතරෙකි.

කෘත්‍ය කර්ම චතුෂ්කය, පාකදාන පර්‍ය්‍යාය කර්ම චතුෂ්කය, පාකකාල කර්ම චතුෂ්කය, පාකස්ථාන කර්ම චතුෂ්කය කියා අභිධර්ම ක්‍ර‍මයෙන් කර්ම සොළොසෙකි.

8. අකුශල කර්මය

ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මෘෂාවාදය, පෛශූන්‍යවචනය, ඵරුෂවචනය, සම්ඵප්‍ර‍ලාපය, අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය කියා අකුශල කර්ම පථ දශයෙකි. චිත්තයන්ගේ වශයෙන් අකුශල කර්ම දොළොසෙකි.

චක්ෂුර්විඥානාදි චිත්තයන් ගේ උත්පත්තියට වුවමනා කරුණු සයක් තෘතීය පරිච්ඡේදයෙහි ද්වාර යන නාමයෙන් දක්වා ඇත. ඒවා විඥාන ද්වාරයෝ ය. ද්වාර නාමය ව්‍යවහාර කරන කර්ම සිද්ධියට වුවමනා කරුණු තුනක් ද ඇත්තේ ය. ඒවාට “කර්ම ද්වාරය” යි කියනු ලැබේ. කායකම්මද්වාර - වචීකම්මද්වාර - මනෝකම්මද්වාර කියා කර්මද්වාර තුනෙකි. කාය කර්මද්වාරය යනු කායවිඤ්ඤත්ති රූපය ය. වචී කර්ම ද්වාරය යනු වචී විඤ්ඤත්ති රූපය ය. විඤ්ඤත්ති රූප, රූප කාණ්ඩයේ දී දත හැකි වනු ඇත. මනඃ කර්මද්වාරය යනු සිත ම ය. ද්වාර අනුව කාය කර්මය, වාක් කර්මය, මනඃ කර්මය කියා කර්ම ද තුනකට බෙදේ.

දශ අකුශල කර්ම පථයන් අතුරෙන් ප්‍රාණඝාතය - අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන කර්ම තුන කායද්වාරයෙහි බෙහෙවින් ඇති වන බැවින් කාය කර්ම නම් වේ.

මෘෂාවාද - පෛශූන්‍යවචනය - පරුෂවචනය - සම්ඵප්‍ර‍ලාපය යන මේ සතර වාග් ද්වාරයෙහි බෙහෙවින් ඇති වන බැවින් වාක් කර්ම නම් වේ.

අභිධ්‍යාව - ව්‍යාපාදය - මිථ්‍යාදෘෂ්ටිය යන මේ කර්ම තුන මනොද්වාරයෙහි ම බෙහෙවින් ඇති වන බැවින් මනඃ කර්ම නම් වේ.

අකුශල කර්මයන් අතුරෙන් ප්‍රාණාතිපාතය - පරුෂවචනය - ව්‍යාපාදය යන තුන ද්වේෂ මූලයෙන් ඇති වේ. කාම මිථ්‍යාචාරය - අභිධ්‍යාව - මිථ්‍යාදෘෂ්ටිය යන තුන ලෝභ මූලයෙන් ම ඇති වේ. ඉතිරි කර්ම සතර මූල දෙකින් ම සිදු වේ. ඒ කර්ම සමහර අවස්ථාවක ලෝභ මූලයෙන් ද සමහර අවස්ථාවක ද්වේෂ මූලයෙන් ද සිදු වේ. මෝහය සැම අකුශලයකට ම මුල් වන බැවින් විශේෂයෙන් නොකියන ලදි.

කාමාවචර කුශලය

කාමාවචර කුශලය ද කාය කර්ම - වාක් කර්ම - මනඃ කර්ම වශයෙන් තෙවැදෑරුම් වේ. යම්කිසි ශරීරාවයවයක උපකාරය ඇති ව කරන කාමාවචර කුශලය කාය කර්ම නම් වේ. වචනයේ උපකාරයෙන් කරන ධර්මදේශනාදි කර්ම වාක් කර්ම නම් වේ. සිතින් පමණක් කරන භාවනාදි කුසල මනඃකර්ම නම් වේ.

දාන - ශීල - භාවනා වශයෙන් කාමාවචර කුශලය තෙවැදෑරුම් වේ. චිත්තයන් ගේ වශයෙන් අට වැදෑරුම් වේ. දාන - සීල - භාවනා - අපචායන - වෙය්‍යාවච්ච පත්තිදාන - පත්තානුමෝදනා - ධම්මසවණ - ධම්ම දේසනා - දිට්ඨිජ්ජුකම්ම කියා ද කාමාවචර කුශලය දස වැදෑරුම් වේ.

අකුසල් සිත් දොළොසය, කාමාවචර කුසල් සිත් අට යයි චිත්තයන්ගේ වශයෙන් කාමාවචර කර්ම විස්සෙකි.

මහද්ගත කුශලය

රූපාවචර කුශලය මනඃකර්මය ය. භාවනාමය ය. එය ධ්‍යාන භේදයෙන් පස්වැදැරුම් වේ. අරූපාවචර කුශලය ද මනඃ කර්මය ම ය. භාවනාමය ය. එය ආරම්මණ භේදයෙන් සිවු වැදෑරුම් වේ.

අකුශලයන්ගේ විපාක

අකුසල් සිත්වලින් අන්තිම සිත වූ උද්ධච්ච සහගත චිත්තය හැර, ඉතිරි සිත් එකොළොසින් සතර අපායයෙහි ප්‍ර‍තිසන්ධිය ඇති කරනු ලැබේ. ප්‍ර‍වෘත්ති කාලයෙහි වනාහි අකුසල් සිත් දොළොසින් ම කාම-රූප ලෝක දෙක්හි සුදුසු පරිදි අහේතුක අකුශල විපාක සිත් සත ඇති කරනු ලැබේ.

එක් එක් අකුශල සිතකින් අනිෂ්ට රූප මුණ ගැසෙන කල්හි චක්ඛුවිඤ්ඤාණ ද, අනිෂ්ට ශබ්ද මුණ ගැසෙන කල්හි සෝතවිඤ්ඤාණ ද, අනිෂ්ට ගන්ධයන් මුණ ගැසෙන කල්හි ඝාණවිඤ්ඤාණ ද, අනිෂ්ට රස මුණ ගැසෙන කල්හි ජිව්හාවිඤ්ඤාණ ද, අනිෂ්ට ස්පර්ශ ඇති වන කල්හි කායවිඤ්ඤාණ ද, ඒ අරමුණු සම්බන්ධයෙන් සම්පටිච්ඡන - සන්තීරණ - තදාරම්මණ ද ඇති කරනු ලැබේ. ලොව්තුරා බුදුවරයන්ට වුව ද අනිෂ්ට රූප දැකීමාදියෙහි දී ඇති වන්නේ අකුසල විපාක සිත් ය.

උද්ධච්ච සහගත චේතනාව දුබල බැවින් අපාය ප්‍ර‍තිසන්ධියක් ඇති කිරීමට තරම් ශක්තියක් එයට නැත.

9. කාමාවචර කුශලයේ විපාක

කාමාවචර කුශලයෙන් කාම සුගතියෙහි ප්‍ර‍තිසන්ධිය ඇති කරනු ලැබේ. ප්‍ර‍වෘත්ති කාලයෙහි මහා විපාක අටය, අහේතුක කුශල විපාක අටය යන සිත් සොළොස ම සුදුසු පරිදි කාම-රූප ලෝක දෙක්හි ඇති කරනු ලැබේ.

ත්‍රිහේතුක කුශලය, ද්විහේතුක කුශලය කියා කාමාවචර කුශලය දෙවැදෑරුම් වේ. ඥාන සම්ප්‍ර‍යුක්ත සිත් සතර ත්‍රිහේතුක ය. ඥාන විප්‍ර‍යුක්ත සිත් සතර ද්විහේතුක ය. එයින් ත්‍රිහේතුක කුශලය බලවත් ය. ද්විහේතුක කුශලය දුබල ය. ත්‍රිහේතුක කුශලය ද උත්කෘෂ්ට - ඕමක වශයෙන් දෙ පරිදි වේ. ද්විහේතුක කුශලය ද එසේ ම දෙ පරිදි වේ.

ජනයා අතර තමා උසස් කෙනකු ලෙස පෙනී සිටීමේ බලාපොරොත්තුවෙන් හෝ අනුන් පහත් කිරීමේ අදහසින් හෝ යම් කුශලයක් කෙරේ නම්, අදහස අපිරිසිදු බැවින් ඒ කුශලය හීන වේ. කුශලය කිරීමට සමීප කාලයේ දී හා කුශලය කිරීමෙන් පසු, එයට සමීප කාලයේ දී ද අකුසල් සිත් ඇතිවුව හොත් දෙපස ඇති වූ අකුශලයන් නිසා කුශලය හීන වේ. කුශලය කොට, “මා කළේ මෝඩ කමක්ය” යනාදීන් කළ කුශලය ගැන නොසතුටක් ඇති කර ග්තතේ නම් එයින්ද කුශලය හීන වේ. ඕමක කුශලයයි කියනුයේ හීන කුශලයට ය. අත්තුක්කංසනයෙන් හෝ පරමවම්භනයෙන් හෝ පූර්වාපරභාග දෙක්හි ඇති වන කෙලෙසුන් ගෙන් හෝ කිලිටි නො වූ, කිරීමෙන් පසුත් “මා විසින් යහපතක් කරන ලද්දේය” කියා නැවත නැවත සතුට ඇති කර ගත්තා වූ කුශලය උත්කෘෂ්ට කුශලය වේ.

ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශලය ත්‍රිහේතුක ප්‍ර‍තිසන්ධිය ගෙන දී ප්‍ර‍වෘත්ති කාලයෙහි මහා විපාක අටය, අහේතුක කුශල විපාක අටය යන විපාක සොළොස ඇති කරන්නේ ය. ත්‍රිහේතුකෝත්කෘෂ්ට කුසල් සිත් සතරෙන් එක් එක් චිත්තයකින් ම මෙසේ කාම සුගතියෙහි ප්‍ර‍තිසන්ධිය දී ප්‍ර‍වෘත්ති කාලයේ විපාක සොළොසක් ඇති කරනු ලැබේ. මේ විපාක සිත් සොළොස ඇති කිරීම එකවරට ම කරන්නක් නොව, ඉෂ්ට රූප ශබ්දාදිය හමුවන සැටියට ඒ ඒ අවස්ථාවලදී සිදු කරන්නකි.

කුශලයක සෝමනස්ස සහගත උපේක්ෂා සහගත භාවය හා අසංස්කාරික සසංස්කාරික භාවය විපාක දීමේදී බල පවත්වන කරුණු නො වේ. එබැවින් සෝමනස්ස සහගත කුශලයෙන් උපේක්ෂා සහගත විපාක ද, උපේක්ෂා සහගත කුශලයෙන් සෝමනස්ස සහගත විපාක ද, අසංස්කාරික කුශලයෙන් සසංස්කාරික විපාක ද, සසංස්කාරික කුශලයෙන් අසංස්කාරික විපාක ද ඇති වන බව සැලකිය යුතු ය.

ත්‍රිහේතුක ඕමක කුශලය හා ද්විහේතුක උත්කෘෂ්ට කුශලය ද්විහේතුක ප්‍ර‍තිසන්ධිය දී, ප්‍ර‍වෘත්ති කාලයෙහි ඤාණ විප්පයුත්ත මහා විපාක සතරය, අහේතුක කුශල විපාක අටය යන විපාක දොළොස ඇති කරන්නේ ය.

ද්විහේතුක ඕමක කුශලය අහේතුක ප්‍ර‍තිසන්ධිය දී ප්‍ර‍වෘත්ති කාලයෙහි අහේතුක කුශල විපාක අට පමණක් ඇති කරන්නේ ය.

“අසංස්කාරික කුශලයෙන් සසංස්කාරික විපාකත් සසංස්කාරික කුශලයෙන් අසංස්කාරික විපාකත් ඇති නො වේය” යන ආචාර්‍ය්‍යවාදයක් ද ඇත්තේ ය. එය බොහෝ ආචාර්‍ය්‍ය වරයන් විසින් පිළිගන්නා ලද්දක් නො වේ. සිත්වල අසංස්කාරික සසංස්කාරික භාවය අතීත කර්ම හේතුවෙන් වන්නක් නො ව, ඒ ඒ සිත් උපදවන අවස්ථාවේ ඇති කරුණු අනුව සිදුවන්නකි.

රූපාවචර කුශලයේ විපාක

රූපාවචර කුශලය ද පරිත්තය-මධ්‍යමය-ප්‍ර‍ණීතය කියා තෙවැදෑරුම් වේ. හීන වූ ඡන්දාදියෙන් යුක්ත වන රූපාවචර කුශලය පරිත්ත නම් වේ. මධ්‍යම ඡන්දාදියෙන් යුක්ත කුශලය මධ්‍යම ය. උසස් වූ ඡන්දාදියෙන් යුක්ත වන කුශලය ප්‍ර‍ණීත කුශලය වේ.

කාමාවචර කුහලය දුබල සිතෙකි. එබැවින් එයින් එය හා සමාන වූ ද, සමාන නොවූ ද බොහෝ විපාක සිත් නානා ස්ථානයන්හි ඇති කරනු ලැබේ. රූපාවචර කුශලය බලවත් සිතකි. එබැවින් එය හා සමාන නො වන පහත් විපාක සිත් එයින් නූපදවනු ලැබේ. එයින් විපාක උපදවන්නේ උසස් තැනක් වූ බ්‍ර‍හ්මාත්ම භාවයෙහි පමණෙකි. බ්‍ර‍හ්මාත්ම භාවයෙහි වුව ද කුශලයට සමාන වූ ධ්‍යාන සිත් ම ප්‍ර‍තිසන්ධි භවාඞ්ග ච්‍යුති වශයෙන් එයින් ඇති කරනවා මිස අන් සිතක් ඇති කරනු නො ලැබේ.

පරිත්ත වූ රූපාවචර ප්‍ර‍ථම ධ්‍යාන කුශලයෙන් බ්‍ර‍හ්මපාරිසජ්ජයෙහි උපදිති. මධ්‍යම ප්‍ර‍ථම ධ්‍යාන කුශලයෙන් බ්‍ර‍හ්මපුරෝහිතයෙහි උපදිති. ප්‍ර‍ථමධ්‍යානයෙන් මහා බ්‍ර‍හ්මයෙහි උපදිති.

පරිත්ත වූ ද්විතීය තෘතීය ධ්‍යාන කුශලයන්ගෙන් පරිත්තාභයෙහි ද මධ්‍යම කුශලයන්ගේන අප්පමාණාභයෙහි ද, ප්‍ර‍ණීත කුශලයන්ගෙන් ආභස්සරයෙහි ද උපදිති.

පරිත්ත වූ චතුර්ථ ධ්‍යානයෙන් පරිත්තසුභයෙහි ද, මධ්‍යමයෙන් අප්පමාණසුභයෙහි ද, ප්‍ර‍ණීතයෙන් සුභකිණ්හයෙහි ද උපදිති.

පඤ්චම ධ්‍යානයෙන් වේහප්ඵලයෙහි උපදිති. පඤ්චමධ්‍යානය ම සංඥා විරාග වශයෙන් වඩා, අසංඥ සත්ත්වයන් කෙරෙහි උපදිති. ඇතැම් කර්මවාදී තීර්ථකයෝ “සිත ඇති කල්හි ඇලීම් විරුද්ධ වීම් මුළාවීම් ඇත්තේ ය. සිත නැති කල්හි ඒවා නැතය” යි සිතෙහි දොස් දැක අචිත්තක භවයක් පතා වායෝ කසිණ භාවනාවෙන් පඤ්චම ධ්‍යානය උපදවා අසංඥ භවයෙහි උපදිති. ඔවුහු මළ ඉරියව්වෙන් එහි උපදිති.

පඤ්චම ධ්‍යානලාභී අනාගාමීහු ද සුද්ධාවාසයෙහි උපදිති. සුද්ධාවාසයෙහි අන්‍යයෝ නූපදිති. අනාගාමීන් ගෙන් ද ශ්‍ර‍ද්ධාධිකයෝ අවිහයෙහි ද, වීර්‍ය්‍යාධිකයෝ අතප්පයෙහි ද, ස්මෘත්‍යාධිකයෝ සුදස්සයෙහි ද, සමාධ්‍යාධිකයෝ සුදස්සියෙහි ද, ප්‍ර‍ඥාධිකයෝ අකනිට්ඨකයෙහි ද උපදිති.

අරූප ධ්‍යානලාභීහු පිළිවෙළින් ආකාසානඤ්චායතනාදි භූමිවල උපදිති.

10. මරණෝත්පත්ති චතුෂ්කය - මරණ සතර

ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණය කියා මරණ සතරෙකි. හැම සත්ත්වයකුට ම තම තමන් ගේ ජීවිතය කෙළවර වන්නේ ඒ මරණ සතරින් එකකට පැමිණීමෙනි.

ආයුක්ෂය මරණය

ඒ ඒ සත්ත්ව ජාතීන්ට නියමිත ජීවත්වීමේ කාල පරිච්ඡේදයක් ඇත්තේ ය. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය ඉතා කෙටි ය. දින ගණනෙකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය සති ගණනෙකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය මාස ගණනෙකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය වර්ෂ ගණනෙකි. මිනිසුන් කෛරහි කුශල මූලයන් වැඩෙන කල්හි ඔවුන් ගේ ආයුඃ කාලය දික්වේ. අකුශල මූලයන් වැඩෙන කල්හි ආයුඃ කාලය කෙටි වේ. ආයුඃ කාල නියමය වන්නේ මා-පියන් ගේ ශරීරවලත්-වළඳන ආහාරවලත් - කාල ගුණයේත් තත්ත්වය අනුව ය.

සතියකට ආයු නැති ජාතිවල සත්ත්වයන් ගේ ශරීරවල වැඩීමත් දිරා යෑමත් සතිය තුළ දී සිදු වේ. එබැවින් ඔවුහු සතියකට වඩා ජීවත් නො වෙති. සිය වසක් ආයු ඇති ජාතිවල සත්ත්වයන් ගේ ශරීරවල වැඩීමත් දිරීමත් සිය වස තුළ දී සිදු වේ. සිය වසකින් ඔබ ඔවුනට ජීවත් විය නො හැකිය. අවුරුදු දහසක් ජීවත් කරවීමට ශක්තිය ඇති කර්මයකින් සිය වසක් ආයුඃ ප්‍ර‍මාණය වන මිනිසුන් අතර උපදින්නේ ද ඒ තැනැත්තාට සිය වසකට වඩා ජීවත් විය නො හැකිය. කුමක් නිසා ද? ජීවිතයට ආධාර වන ශරීරය සිය වසකදී දිරා යන හෙයිනි. කර්ම ශක්තිය ඇති අයට සෘද්ධි බලයෙන් හා රසායන බෙහෙත් බලයෙන් ආයුඃ කාලයට වැඩි කාලයක් ජීවත් විය හැකි බව ද කියා තිබේ. නියමිත ආයුඃ කාලය ගෙවීමෙන් වන මරණය ආයුඃක්ෂය මරණ නම් වේ.

කර්මක්ෂය මරණය

ඇතැම් දුබල කර්ම ප්‍ර‍තිසන්ධිය ඇති කිරීමට සමත් වෙතත් ඒ කර්මයෙන් උපන් තැනැත්තා ආයුඃ කාලය ඇති තෙක් ජීවත් කරවීමට සමත් නො වේ. එබඳු කර්මවලින් උත්පත්තිය ලැබුවෝ ආයුඃ කාලය ගෙවීමට කලින් මිය යෙති. කර්ම බලය ඉවර වීමෙන් වන ඒ මරණය කර්මක්ෂය මරණ නම් වේ.

උභයක්ෂය මරණය

ආයුඃ කාලය ය, කර්ම ශක්තිය ය යන දෙක ම එකවිට ගෙවීමෙන් වන මරණය උභයක්ෂය මරණ නම් වේ. සත්ත්වයකුට ආයුඃ කර්ම දෙක එක වර ම ගෙවී යෑමක් වන්නේ කලාතුරකිනි.

උපච්ඡේදක මරණය

ආයුෂයත් තිබිය දී කර්ම බලයත් තිබිය දී අතීත භවවල දී කළ ප්‍රාණඝාතාදි කර්මයකින් හෝ වර්තමානභවයේ කළ පාප කර්මයකින් ම හෝ රෝගාදි අන්තරායයන් ඇති කොට සිදු කරන මරණය උපච්ඡේදක මරණ නම් වේ.

උපච්ඡේදක මරණය අකාල මරණය ය. එය කර්මයෙන් පමණක් නො ව, තවත් බොහෝ හේතූන් ගෙන් ද සිදු වන්නකි. ජීවිතය ඉතා දුබල එකකි. කර්මයත් දුබල එකකි. ආහාර පානාදියේ උපකාරය නො ලද හොත්, ආරක්ෂාව නො සැලසුන හොත්, කර්ම ශක්තියට පමණක් ජීවිතය පැවැත්විය හැකි නොවේ. ජීවිතය පවත්නේ ද අන්තරාය මධ්‍යයේ ය. ශරීරය ඇතුළේ ම ද බොහෝ ජීවිත නාශක හේතු ඇත්තේ ය. ශරීරයෙන් පිටත සත්ත්වයා වටේටත් ජීවිත නාශක හේතු පිරී ඇත්තේ ය. ඒ සෑම එකකින්මත් අකාල මරණය සිදු විය හැකි ය.

නාගසේන මහ රහතන් වහන්සේ විසින් මිළිඳු රජුට අකාල මරණ හේතු අටක් වදාරා තිබේ. වාතයෙන් හට ගන්නා ආබාධය, පිතින් හට ගන්නා ආබාධය, සෙමෙන් හට ගන්නා ආබාධය, සන්නිපාතයෙන් වන ආබාධය, සෘතු විපර්‍ය්‍යාසය, ශරීරය නො මනා කොට පරිහරණය කිරීම, උපක්‍ර‍ම කිරීම, කර්ම විපාකය යනු ඒ කරුණු අටය ය.

සන්නිපාතයෙන් වන ආබාධය යනු දොස් දෙකකින් හෝ තුනෙන් ම හට ගන්නා ආබාධය ය.

සෘතු විපර්යාසය යනු ශීතෝෂ්ණ දෙක්හි අඩු වැඩි වීම ය. මහ වැසි වැස, ගම් නියම් ගම් යට කොට ගලා යන වතුරට හසු වී වන මරණත්, වැසි නැති වීමෙන් නොයෙක් රෝග හට ගැනීමෙන් හා බත් පැන් නැති වී යෑමෙන් සිදු වන මරණත් සෘතු විපර්‍ය්‍යාසයෙන් වන මරණයෝ ය.

පරෙස්සම් නො වීම නිසා රථ වාහනවලට යටවීම්, ගින්නට හසු වීම්, දියෙහි වැටීම් ආදියෙන් සිදු වන මරණය ශරීරය නො මනා කොට පරිහරණයෙන් වන මරණ ය.

උපක්‍ර‍මයෙන් වන මරණය තමාගේ උපක්‍ර‍මයෙන් හා අනුන්ගේ උපක්‍ර‍මයෙන් ද යන දෙයාකාරයෙන් ම සිදු වේ. ඇතැම්හු විෂ පානය කිරීම්, බෙල්ලේ වැල ලා ගැනීම්, දියට පැනීම්, දුම්රියට බෙල්ල තැබීම් ආදිය කොට මිය යති. ඒ මරණය තමාගේ උපක්‍ර‍මයෙන් සිදු වන මරණය ය. සර්පයන් ගෙන් ද, චණ්ඩ මෘගයන් ගෙන් ද, අමනුෂ්‍යයන් ගෙන් ද, යුද්ධයෙන් ද, සොරුන්ගෙන් ද, සතුරන් ගෙන් ද, රජුන් ගෙන් ද, වන මරණ පරෝපක්‍ර‍මයෙන් වන මරණයෝ ය.

අතීත භවවලදී කළ ප්‍රාණඝාතාදි කර්ම නිසාත්, වර්තමාන භවයේ ම කළ කර්ම නිසාත් ඇතැම්හු මැරෙති. එය කර්ම විපාකයෙන් වන මරණය ය. සියල්ල කර්මයෙන් ම වන්නේය යි ගැනීම මිථ්‍යා දෘෂ්ටියකි. කර්මයෙන් මරණය සිදු කරන්නේ ද වාතකෝපාදිය ඇති කිරීමෙනි. එබැවින් අකාලයේ කෙනකු මළ හොත් එය කර්මයකින් වූවක් ද අනික් හේතුවකින් ම වූවක් ද කියා නො දත හැකිය.

11. පුනරුත්පත්තිය

කවර ආකාරයකින් හෝ මැරෙන්නා වූ සත්ත්වයා හට වර්තමාන භවයේදී හෝ අතීත භවවලදී හෝ ඒ පුද්ගලයා විසින් කර ඇති කුශලාකුශල කර්මයන් අතුරෙන්, යම් කිසි කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහේ. කර්ම නිමිත්තය යනු කර්මයට අරමුණු වූ හෝ එය සිදු කිරීමට උපකරණ වූ හෝ වස්තූහු ය. කුශල කර්ම කළවුන්ට බෝධි-චෛත්‍ය-බුද්ධප්‍ර‍තිමා-මල්-පහන්-ආහාරපාන-වස්ත්‍රාදිය කර්ම නිමිති වශයෙන් වැටහේ. අකුශල කර්ම කළවුන්ට මරණු ලබන සතුන් - අනුන් ගේ බඩු - සතුන් මැරීමේ, සොරකම් කිරීමේ උපකරණ යනාදිය කර්ම නිමිති වශයෙන් වැටහේ.

ගති නිමිත්තය යනු මතු උපදින භවය සම්බන්ධ දේවල් ය. නරකයෙහි උපදනා සත්ත්වයනට මහ ගිනි දැල්, ලෝදිය, ගිනි අඟුරු ආදිය හා යම රාක්ෂයන් ද, නපුරු සතුන් ද වැටහේ. ඒ වැටහීම ඒ දේවල් ඒ ඒ තැන්වල ම ඇති සැටියටත් සමහර විට තමා සමීපයට ඒවා පැමිණ ඇති සැටියටත් සිදු වේ. දෙව්ලොව උපදනා අයට දිව්‍ය විමාන - රථ - උයන් - කල්ප වෘක්ෂ ආදිය ද, දෙවියන් හා දිව්‍යාඞ්ගනාවන් ද ගති නිමිත්ත වශයෙන් වැටහේ. මිනිස් ලොව උපදින්නවුන්ට මාතෘ ගර්භය ගති නිමිත්ත වශයෙන් වැටහේ. තිරිසන් යෝනියෙහි උපදින්නවුන්ට කැලෑ ආදිය වැටහේ.

කර්මාදිය වැටහීමේ දී වර්තමාන භවයෙහි කොට මතක ඇත්තා වූ කර්ම මතක් වීම් වශයෙන් මනෝද්වාරයට වැටහේ. වර්තමාන භවයේ කොට අමතක වූ කර්ම හා අතීත භවවලදී කළ කර්ම ද, කර්ම නිමිති හා ගතිනිමිති ද වැටහෙන්නේ සිහින පෙනෙන්නාක් මෙනි. මේවා බොහෝ සෙයින් වැටහෙන්නේ මනෝද්වාරයට ය. කර්ම නිමිති හා ගති නිමිති මැරෙන තැනැත්තා ඉදිරියේ ඇති අවස්ථාවල දී චක්ෂුර්ද්වාරාදියට ද වැටහෙන්නේ ය. භවයෙහි මතු නූපදින්නා වූ රහතුන්ට මරණාසන්නයේ දී කර්මාදිය වැටහීමක් සිදු නොවේ. මරණය කෙසේ සිදු වුව ද භවයෙහි උපදනා එක සත්ත්වයකුදු කර්මාදි තුනෙන් එකක් නො වැටහී නො මැරේ. මිටියකින් තළනු ලැබූ මැස්සා පවා මැරෙන්නේ කර්මාදි තුනෙන් එකක් වැටහීමෙන් පසුව ය. මරණාසන්නයේ දී මෙසේ වැටහීමෙන් කාලාන්තරයක් යට වී තුබූ පුරාණ කර්ම එකෙණෙහි ම කරන ලද ඒවා මෙන් අලුත් වේ.

කර්මාදි තුනෙන් යම් කිසිවක් වැටහුණා වූ මරණාසන්න සත්ත්වයා ගේ සිත ඒ වැටහුණු දෙයට නැමී පවත්වන්නට වන්නේ ය. එයට හේතුව භවයේ නපුර වසන අවිද්‍යාවත්, භවයට ඇලුම් කරන තණ්හාවත් අප්‍ර‍හීණ භාවයෙන් ඔහු කෙරෙහි ඇති බව ය. මේ අවස්ථාවේ දී ඔහුට ඇති වන්නේ ඒ වැටහුණු දෙය අරමුණු කරන සිත් පරම්පරාවෙකි. ඔහුට විපාක දීමට ඉදිරිපත් වී ඇති කර්මය අපායෙහි උපදවන කර්මයක් වේ නම්, මේ අවස්ථාවෙහි ඔහුට ඇති වන සිත් පරම්පරාව අකුශල ජවනයන්ගෙන් යුක්ත කිලිටි සිත් පරම්පරාවෙකි. විපාක දීමට ඉදිරිපත් වී ඇති කර්මය කුශල කර්මයක් වේ නම්, මේ අවස්ථාවෙහි ඔහුට පිරිසිදු කුශල චිත්ත පරම්පරාවක් ඇති වේ.

සත්ත්ව ශරීරයක සිත් ඇති වන්නේ සිත් ඇති වීමට ආධාර වන අතීත කර්මයෙන් හටගත් වස්තු රූප ඔහුගේ ශරීරයෙහි ඇති තෙක් පමණකි. වස්තු රූප පරම්පරාව සිඳී ගියි හොත් ඉන් පසු ඒ ශරීරයෙහි නැවත සිත් ඇති නොවේ. ශරීරයෙහි නැවත සිත් ඇති නොවන තැනට පැමිණීම මරණය ය.

සිත්වලට ආධාර වන වස්තු රූප පරම්පරාවන් සිඳී යන්නට හොඳට ම ළං වූ කල්හි මැරෙන සත්ත්වයාට ඒ අවස්ථාවේ දී වැටහී තුබූ කර්මාදියෙන් එකක් අරමුණු කොට, ඒ ශරීරයේ ඇති වන අන්තිම චිත්ත වීථිය ඇති වේ. එයට මරණාසන්න වීථිය යි කියනු ලැබේ. මේ අවස්ථාවේ දී චිත්ත වේගය ඉතා හීන බැවින් ප්‍ර‍කෘති කාලයෙහි මෙන් ඒ වීථියේ ජවන් සතක් ඇති නො වී, පසක් පමණක් ඇති වේ. පස්වන ජවනයට අනතුරු ව හෝ ජවනයෙන් පසු භවාඞ්ගයක් වී එයට අනතුරු ව හෝ තදාරම්මණයට අනතුරු ව හෝ තදාරම්මණයෙන් පසු භවාඞ්ග වී එයට අනතුරුව හෝ වර්තමාන භවයාගේ අවසාන චිත්තය වන ච්‍යුති චිත්තය උපදී. ඉන් පසු කිසි කලෙක ඒ ශරීරයේ නැවත සිත් ඇති නොවේ. ච්‍යුති චිත්තය ඇති වීම සත්ත්වයාගේ මරණය ය.

ච්‍යුතියෙන් පසු ඒ ශරීරයෙහි නැවත සිත් ඇති නො වන නමුත් සත්ත්වයාගේ සිත් පරම්පරාව නො සිඳේ. ච්‍යුති චිත්තය නිරුද්ධ වනු සමග ම මරණාසන්න ජවනන් විසින් ගන්නා ලද අරමුණ ම ගනිමින් විපාක දීමට ඉදිරිපත් ව තිබූ කර්මයාගේ විපාක වශයෙන් යම් කිසි තැනක දෙවන ජාතියේ පළමු වන සිත වූ ප්‍ර‍තිසන්ධි චිත්තය පහළ වේ. ඒ ප්‍ර‍තිසන්ධි චිත්තය පහළ වීම, මළ සත්ත්වයා ගේ නැවත ඉපදීමය. මැරෙන තැනැත්තාගේ ශරීරයෙන් කිසිවක් අනාගත භවයට නො යන්නේ ය. ප්‍ර‍තිසන්ධි චිත්තය වර්තමාන භවයෙන් එහි ගිය එකක් නොව, එහි ම අලුතෙන් පහළ වූවකි.

ප්‍ර‍තිසන්ධි චිත්තය වර්තමාන භවයෙන් අනාගත භවයට ගිය එකක් නො වතුදු වර්තමාන භවයේ පැවති සිත් පරම්පරාවට ම අයත් දෙයකි. වර්තමාන භවයට අයත් සිත් පරම්පරාව නොවී නම් ප්‍ර‍තිසන්ධි චිත්තයක් ඇති නො වේ. ච්‍යුති-ප්‍ර‍තිසන්ධි දෙක අතර දීර්ඝ කාලයක් ද නැත. ච්‍යුතියට අනතුරුව ප්‍ර‍තිසන්‍ධිය ඇති වීමට ගත වන කාලයත් ජීවත් ව ඉන්නා කාලයේ චිත්ත වීථියක එක් සිතක් නිරුද්ධ වී තව සිතක් ඇති වීමට ගත වන කාලයත් සමාන ය. මිනිසකු මැරී දෙව්ලොව පිළිසිඳ ගත් කල්හි, මේ ලෝකයෙන් දෙව්ලොවට ගිය කිසිවෙක් නැත ද, දෙවියාගේ ප්‍ර‍තිසන්ධි චිත්තය, මිය ගිය මිනිසාගේ සිත් පරම්පරාවට ම අයත් බැවින් මිය ගිය මිනිසාත් ඒ දෙවියාත් එක් පුද්ගලයකු වශයෙන් කිය යුතු ය.

ච්‍යුතියට අනතුරු ව ප්‍ර‍තිසන්ධි චිත්තය ඇති වීමේ ප්‍ර‍ධාන හේතුව විපාක දීමට එළඹ සිටි අතීත කර්මය ය. මරණාසන්නයේ දී කර්මාදියෙන් එකක් අරමුණු කරමින් පැවති කුශලාකුශල ජවන චිත්තයන් හා අවිද්‍යා තෘෂ්ණා දෙකත් ඒ ඒ ආකාරයෙන් ප්‍ර‍තිසන්ධියට හේතු වේ.

12. මරණාසන්න වීථි

චක්ෂුර්ද්වාර වීථි - ශ්‍රෝත්‍ර‍ද්වාර වීථි - ඝ්‍රාණද්වාර වීථි - ජිහ්වාද්වාර වීථි - කායද්වාර වීථි - මනෝද්වාර වීථි වශයෙන් මරණාසන්න වීථිය සවැදෑරුම් වේ. එයින් චක්ෂුර්ද්වාර මරණාසන්න වීථි ද ජවනයට අනතුරු ව ච්‍යුතිය වන වීථිය ය, ජවන භවාංගයට අනතුරු ව ච්‍යුතිය වන වීථිය ය, තදාරම්මණයට අනතුරුව ච්‍යුතිය වන වීථිය ය, තදාරම්මණ භවාඞ්ගයට අනතුරු ව ච්‍යුතිය වන වීථිය ය කියා සිවු වැදෑරුම් වේ. මරණාසන්නයේ දී වැටහෙන දේවලින් කර්මය වැටහෙන්නේ මනෝද්වාරයට ම ය. සමහර විට මරණාසන්නයේ දී ඇස ඉදිරිපිට ඇති දෙයක් ම කර්ම නිමිත්ත විය හැකි ය. චක්ෂුර්ද්වාරික මරණාසන්න වීථිය ඇති වන්නේ එවැනි අවස්ථාවක ය. කලාතුරකින් කෙනකුට ගති නිමිත්ත ද ඇසට පෙනිය හැකිය. එබඳු අවස්ථාවලදී ගති නිමිත්ත අරමුණු කරන චක්ෂුර්ද්වාරික මරණාසන්න වීථි ද ඇති විය හැකි ය.

ජවනයට අනතුරු ව ච්‍යුතිය වන චක්ෂුර්ද්වාරික මරණාසන්න වීථිය මෙසේ ය:-

කර්ම නිමිත්ත වන රූපාරම්මණයක් මරණාසන්නයේදී චක්ෂුර්ද්වාරයට එළඹ සිටිය හොත් අතීත භවාඞ්ගය - භවාඞ්ග චලනය - භවාඞ්ගුපච්ඡේදය - පඤ්චද්වාරාවජ්ජනය - චක්ඛු විඤ්ඤාණය - සම්පටිච්ඡනය - සන්තීරණය - වොත්ථපනය යන මේ සිත් පිළිවෙළින් ඉපද නිරුද්ධ වීමෙන් පසු, යම් කිසි කාමාවචර ජවනයක් පස්වරක් පිළිවෙළින් ඉපද නිරුද්ධ වීමෙන් පසු වර්තමාන භවයේ අවසාන සිත වන ච්‍යුති චිත්තය ඉපද නිරුද්ධ වේ. එයට අනතුරුව යම් කිසි කාමාවචර ප්‍ර‍තිසන්ධි චිත්තයක් ඉපද නිරුද්ධ වේ. එයට අනතුරු ව අභිනව භවයේ දී ඒ ප්‍ර‍තිසන්ධි චිත්තය ම භවාඞ්ග කෘත්‍යයෙන් පසළොස් වරක් හෝ සොළොස් වරක් ඉපද නිරුද්ධ වීමෙන් පසු වර්තමාන භවය අරමුණු කොට මනෝද්වාරාවජ්ජන චිත්තය ද, එයට අනතුරු ව වර්තමාන භවයට ඇලුම් කිරීම් වශයෙන් ලෝභ මූල ජවනයක් සත් වරක් ද උපදී. ඉන් පසු භවාඞ්ගපතනය වේ.

මේ මරණාසන්න වීථියේ පඤ්චද්වාරාවජ්ජනයේ පටන් පස් වන ජවනය දක්වා ඇති සිත්වලට අරමුණු වන්නේ අතීත භවාඞ්ගය හා උපන් වර්තමාන රූපය ය. අතීත භවාඞ්ගයේ පටන් පස් වන ජවනය දක්වා ඇත්තේ සිත් දහතුනෙකි. ඒ රූපයට පස්වන ජවනයෙන් පසු තවත් චිත්තක්ෂණ සතරක් ආයු ඇත්තේ ය. එබැවින් ප්‍ර‍තිසන්ධි චිත්තයටත් එයට පසු ඇති වන භවාඞ්ග දෙකකටත් අරමුණු වන්නේ පඤ්චද්වාරාවජ්ජනාදි සිත්වලට අරමුණු වූ වර්තමාන රූපය ය. ප්‍ර‍තිසන්ධියෙන් පසු ඇති වන දෙවන භවාඞ්ග චිත්තය සමඟ ඒ රූපාරම්මණය චිත්තක්ෂණ සතොළොස වූ ආයුෂය ගෙවා නිරුද්ධ වන්නේ ය. එබැවින් ඉන් පසු ඇති වන භවාඞ්ග සිත්වලට අරමුණ වන්නේ කර්ම නිමිත්ත වූ අතීත රූපාරම්මණයන් ය.

මේ වීථියේ අතීත භවාඞ්ග - භවාඞ්ග චලන - භවාඞ්ගුපච්ඡේදයන්ට හා ච්‍යුතියට අරමුණු වන්නේ ඉන් අතීත භවයේ මරණාසන්න ජවනවලට අරමුණු වූ කර්මාදියෙන් එකකි. ච්‍යුති චිත්තයෙන් සතළොස්වන චිත්තයාගේ උත්පාදක්ෂණයෙන් පසු මැරෙන තැනැත්තාගේ සිරුරෙහි කර්මජ රූප නූපදනා බැවින් මේ වීථියේ පඤ්චද්වාරාවජ්ජනාදි සිත්වලට නිඃශ්‍ර‍ය වන්නේ ච්‍යුති චිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපන් හෘදය වස්තුව ය. චක්ෂුර් විඥානයට නිඃශ්‍ර‍ය වන්නේ ද ච්‍යුති චිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපන් චක්ෂුර් වස්තුව ය. ප්‍ර‍තිසන්ධිය ඇති වන කල්හි එය සමග ම ඒ සිතට නිඃශ්‍ර‍ය වන වස්තු රූපය ද ඇති වේ. ප්‍ර‍තිසන්ධි චිත්තයට නිඃශ්‍ර‍ය වන්නේ ඒ සිත හා එකවර ඇතිවන වස්තු රූපය ය. ඉන් පසු ඇති වන භවාඞ්ගාදි සිත්වලට නිඃශ්‍ර‍ය වන්නේ ඒ ඒ සිතට කලින් උපන් සිත හා උපන්හෘදය වස්තු රූපය ය. මතු දැක්වෙන සටහන බලා චක්ෂුර්ද්වාරික මරණාසන්න වීථි සතරේ ම සිත් පිළිවෙළ තේරුම් ගත යුතු ය.

චක්ෂුර්ද්වාරික මරණාසන්න වීථි

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17

තී න ද ප ච සං ණ වො ජ ජ ජ ජ ජ චු ප්‍ර‍ භ භ

තී න ද ප ච සං ණ වො ජ ජ ජ ජ ජ භ චු ප්‍ර භ

තී න ද ප ච සං ණ වො ජ ජ ජ ජ ජ ත ත චු ප්‍ර

තී න ද ප ච සං ණ වො ජ ජ ජ ජ ජ ත ත භ චු

සෝත - ඝාන - ජිව්හා - කායද්වාර මරණාසන්න වීථි ද චක්ෂුර්ද්වාරික වීථි අනුව දත යුතු ය. වෙනස චක්ෂුර්විඥානය යෙදෙන ස්ථානයන්හි ශ්‍රෝත්‍ර‍ විඥානාදිය යෙදීම පමණෙකි. ධර්ම ශ්‍ර‍වණය කරමින් කාලක්‍රියා කරන්නවුන්ට ශ්‍රෝතද්වාරික මරණාසන්න වීථි ඇති විය හැකි ය. පූජා කළ ධූපාදියෙහි ගන්ධය ආඝ්‍රාණය කරමින් කාලක්‍රියා කරන්නවුන්ට ඝානද්වාරික මරණාසන්න වීථි ඇති විය හැකි ය. මරණාසන්නයෙහි දී යම් කිසිවක් කටේ වත් කරනු ලැබූවන්ට ජිව්හාද්වාරික මරණාසන්න වීථි ද, යම් කිසිවකුගේ පහස ලබමින් කාලක්‍රියා කරන්නවුන්ට කායද්වාරික මරණාසන්න වීථි ද ඇති විය හැකි ය. මනෝද්වාරික මරණාසන්න වීථි සතර මතු දැක්වෙන සටහනින් දත යුතු ය.

න ද ම ජ ජ ජ ජ ජ චු

න ද ම ජ ජ ජ ජ ජ භ චු

න ද ම ජ ජ ජ ජ ජ ත ත චු

න ද ම ජ ජ ජ ජ ජ ත ත භ චු

කර්මය ය - කර්ම නිමිත්තය - ගති නිමිත්තය යන මේ තුනෙන් කවරක් හෝ අරමුනු වන්නේ කාමාවචර ප්‍ර‍තිසන්ධියට ය. රූපාවචර අරූපාවචර ප්‍ර‍තිසන්ධීන්ට අරමුණු වන්නේ කර්ම නිමිත්ත පමණෙකි. ඔවුනට කර්ම නිමිත්ත වශයෙන් අරමුණු වන්නේ ද ඔවුන් ලබා සිටින ධ්‍යානවලට අරමුණු වන කසිණ නිමිත්තාදිය ය.

අසංඥ භවයෙහි උපදනා සත්ත්වයනට ච්‍යුතියෙන් පසු ප්‍ර‍තිසන්ධි චිත්තයක් ඇති නො වේ. ඔවුනට ච්‍යුතියෙන් පසු අසංඥ භවයෙහි ප්‍ර‍තිසන්ධිය වශයෙන් ඇති වන්නේ ජීවිත නවක රූප කලාපයෝ ය. එබැවින් ඔවුහු රූප ප්‍ර‍තිසන්ධිකයෝ ය. අරූප භූමියෙහි උපදන සත්ත්වයෝ අරූප ප්‍ර‍තිසන්ධිකයෝ ය. ඉතිරි ප්‍රතිසන්ධි ඇති වන කල්හි ඒවා හා රූපත් ඇති වන බැවින් අසංඥ සත්ත්වයන් හා අරූපී සත්ත්වයන් හැර සෙස්සෝ රූපාරූප ප්‍ර‍තිසන්ධිකයෝ ය.

අරූපාවචර චුති සතර කෙරෙන් යට යට අරූපාවචර ප්‍ර‍තිසන්ධි හැර ඉතිරි අරූපාවචර ප්‍ර‍තිසන්ධි හා කාම ත්‍රිහේතුක ප්‍ර‍තිසන්ධි ද ඇති විය හැකිය. ඉහළ අරූප භූමියකින් ච්‍යුත වූවකුට පහළ අරූප ප්‍ර‍තිසන්ධියක් ඇති නො වේ. අරූප භූමි සියල්ලෙන් ම ච්‍යුත වන්නවුන්ට රූපාවචර ප්‍ර‍තිසන්ධි හෝ කාමාවචර අහේතුක ද්විහේතුක ප්‍ර‍තිසන්ධි හෝ ඇති නො වේ. රූපාවචර චුතීන් කෙරෙන් අහේතුක ප්‍ර‍තිසන්ධි හැර ඉතිරි ප්‍ර‍තිසන්ධි ඇති විය හැකි ය. කාම ලෝකයේ ත්‍රිහේතුක පුද්ගලයාගේ ච්‍යුතිය කෙරෙන් සියලු ම ප්‍ර‍තිසන්ධි ඇති විය හැකි ය. ද්විහේතුක අහේතුක චුතීන් කෙරෙන් ඇති විය හැක්කේ කාමාවචර ප්‍ර‍තිසන්ධි පමණෙකි.

කල්ප පන්සියයක් අසංඥ භූමියෙහි වැස ච්‍යුත වන්නා වූ පුද්ගලයා හට ච්‍යුති චිත්තයක් නැත. අවසාන වරට ඔහුට ඇති වන ජීවිත නවක රූප කලාප ම ඔහුගේ ච්‍යුතිය ය. කර්ම - කර්ම නිමිති - ගති නිමිති වැටහීමක් ද ඔහුට නැත. අසංඥ භවයට පැමිණීමට පෙර ඔහු විසින් ලබා සිටි පඤ්චම ධ්‍යානයේ උපචාර චේතනාවන් විසින් මතුකර දෙන කර්මාදිය අතුරෙන් එකක් අරමුණු කොට අසංඥසත්ත්ව ච්‍යුතියෙන් පසු ඔහුට කාමාවචර ප්‍ර‍තිසන්ධිය ඇති වේ.

මෙසේ භවයෙහි පිළිසිඳ ගන්නා සත්ත්වයනට ප්‍ර‍තිසන්ධි චිත්තය නිරුද්ධ වීමෙන් පසු ඒ සිත ම ඒ අරමුණ ම අරමුණු කරමින් ඒ ජීවිත කාලය මුළුල්ලෙහි ම අන් සිතක් නැති සැම වේලේ ම නැවත නැවත උපදින්නේ ය. සත්ත්වයා ජීවත් වන්නේ, ඔහුගේ සිත් පරම්පරාව නො සිඳෙන්නේ, ඒ සිත නැවත නැවත උපදින නිසා ය. භවය පැවතීමට උපකාර භාවයෙන් ඇති වන්නක් නිසා ඒ සිතට භවාඞ්ගය යි කියනු ලැබේ. භවයේ අවසාන සිත වන්නේත් ඒ සිත ම ය. අවසාන සිත වශයෙන් ඇති වන කල්හි එයට ච්‍යුති චිත්තය යි කියනු ලැබේ.

මෙසේ මේ වර්තමාන භවයෙහි ප්‍ර‍තිසන්ධි භවාඞ්ග සිත් හා වීති සිත් ද ච්‍යුතිය ද ඇති වන්නාක් මෙන් මතු භවවලදී ද ප්‍ර‍තිසන්ධ්‍යාදිය ඇති වීම් වශයෙන් මේ චිත්ත පරම්පරාව නිවනට පැමිණෙන තෙක් එක් පරම්පරාවක් වශයෙන් පෙරළෙමින් පවත්නේ ය.

මෙසේ සිත් පරම්පරාව නො සිඳී පැවැත්ම නිසා නැවත නැවත මැරෙන්නට උපදින්නට සිදුවීමේ නපුර දුටු නුවණැත්තෝ සම්‍යක් ප්‍ර‍තිපදාවෙන් මාර්ග ඵල ලබා තෘෂ්ණා බන්ධනය සිඳ මැරීමක් ඉපදීමක් නැත්තා වූ නිර්වාණයට යන්නා හ.

අභිධර්ම මාර්ගයේ පඤ්චම පරිච්ඡේදය මෙතෙකින් නිමියේ ය.

6. ෂෂ්ඨ පරිච්ඡේදය - රූප සමුද්දේශය

1. රූප විසි අට

පඨවි ධාතුව - ආපෝ ධාතුව - තේජෝ ධාතුව - වායෝ ධාතුව යන භූතරූප සතර ය, චක්ෂුඃ ප්‍ර‍සාදය - ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය - ඝ්‍රාණ ප්‍ර‍සාදය - ජිහ්වා ප්‍ර‍සාදය - කාය ප්‍ර‍සාදය යන ප්‍ර‍සාදරූප පස ය, රූපය - ශබ්දය - ගන්ධය - රසය - ස්ප්‍ර‍ෂ්ටව්‍යය යන ගෝචරරූප පසය, ස්ත්‍රී භාව රූපය - පුරුෂ භාව රූපය යන භාව රූප දෙකය, හෘදය රූපය ය, ජීවිත රූපය ය, ආහාර රූපය ය කියා නිෂ්පන්න රූප අටළොසකි.

ආකාශ ධාතුව ය, කාය විඤ්ඤත්තිය - වචී විඤ්ඤත්තිය - ලහුතාව - මුදුතාව - කම්මඤ්ඤතාව යන විකාර රූප පසය, උපචය - සන්තති - ජරතා - අනිච්චතා යන ලක්ෂණ රූප සතරය කියා අනිෂ්පන්න රූප දශයෙකි.

නිෂ්පන්න රූප අටළොසය, අනිෂ්පන්න රූප දසය ය යි රූප විසි අටෙකි.

(මේ රූප විසි අට කට පාඩම් කර ගන්න.)

ස්ප්‍ර‍ෂ්ටව්‍යය කියා අමුතු රූපයක් නැත්තේ ය. ගෝචර රූප කියන තැන ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන නමින් කියැවෙන්නේ පඨවි - තේජෝ - වායෝ යන භූත රූප තුන ය. එබැවින් නිෂ්පන්න රූප අටළොස ගණන් ගැනීමේදී ස්ප්‍ර‍ෂ්ටව්‍යය අත් හැර ගණන් ගත යුතු ය. එසේ නො කළ හොත් නිෂ්පන්න රූප දහනවයකට ගැනෙනවා ඇත.

රූපවලින් ප්‍ර‍ධාන වන්නේ භූත රූප සතර ය. ඉතිරි රූප විසි හතර භූත රූප නිසා ඇති වන ඒවා ය. එබැවින් ඒවාට උපාදාය රූප නාමය කියනු ලැබේ. භූතරූප සතරය, උපාදාය රූප විසි හතරය කියාද රූප සමූහය දෙකට බෙදනු ලැබේ.

2. මහාභූත රූප සතර

පඨවි ධාතුවය, ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුවය කියා මහාභූත සතරෙකි. මහ පොළොව කඳු මුහුදු ගංගා ආදි වශයෙන් මහත් මහත් ව පහළ වන නිසා ඒවාට මහාභූත යන නම කියනු ලැබේ.

පඨවි ධාතුව

යම් කිසි වස්තුවක් අත ගා බැලුවා ම ඔබා බැලුවා ම දැනෙන තද ගතිය පඨවි ධාතුව ය. සමහර වස්තූන් අත ගා බැලුවා ම ඔබා බැලුවා ම මොළොක් බව දැනෙන්නේ ය. ඒ මොළොක් බවත් අනිකක් නො ව මඳ වූ තද ගතිය ම ය. තදය මොළොක් ය යන මේ වචන කුඩා ය - මහත්ය යන වචන මෙන් එක් දෙයක් නිසා අනිකට කියන නම් ය. කුඩාය කියන දෙය එකට වඩා කුඩා දෙයක් හා සසඳන කල්හි මහත් දෙය වේ. එසේ ම මහත්ය කියන දෙය ද එයට වඩා මහත් දෙයක් හා සසඳන කල්හි කුඩා දෙය වේ. මෙසේ මොළොක්ය කියන දෙය එයට වඩා මොළොක් දෙයක් හා සසඳන කල්හි තද දෙය වේ. තදය කියන දෙය ද එයට වඩා තද දෙයක් හා සසඳන කල්හි මොළොක් දෙය වේ. කරුණු මෙසේ හෙයින් තද ගතිය ය කියන්නේත් මොළොක් ගතිය ය කියන්නේත් එක ම පඨවි ධාතුවට බව දත යුතු ය. අතට දැනෙන්නේ ඉතා සියුම් නො වූ තද ගතිය ය. සමහර දෙයක ඇති ඉතා සියුම් තද ගතිය අතට දැනෙන්නේ ද නැත. ධාතු යන වචනයේ තේරුම සත්ත්ව නො වන ස්වභාවය යනුයි.

ආපෝ ධාතුව

ඇලෙන ගතිය ආපෝ ධාතුව ය. එක් ව ඇති වන රූපයන්හි ඇතුළත පිටත දෙක්හි ම පැතිර සිටීම ආපෝ ධාතුවේ ස්වභාවය ය. තමා හැ ගැටී ඇති දෙය තමා වෙත ඇද ගැනීම, උරා ගැනීම තමාගෙන් ඉවත් වන්නට නො දී අල්ලා ගැනීම ආපෝ ධාතුවේ ස්වභාවය ය. ලොව ඇති වස්තූන් ධූලි මෙන් විසිරී නොගොස්, එකට බැඳී ඝන වී පවත්නේ ආපෝ ධාතුවේ බලයෙනි. පඨවි ධාතුව අධික ව ආපෝ ධාතුව මඳ වී ඇති වස්තු කැටි වී ඝනවී පවතී. ශරීරවල ඇට නහර මස් ආදියත් පස් ගල් යකඩ කොළ පොතු මුල් ලී ආදියත් ආපෝ ධාතුව අඩු පඨවි ධාතුව වැඩි දේවල් ය. පඨවි ධාතුව මඳ වී ආපෝ ධාතුව අධික වුවහොත් දියාරු දෙයක් වැගිරෙන දෙයක් ඇති වේ. තෙල් වතුර ආදිය පඨවි ධාතුව මඳ, ආපෝ ධාතුව අධික දේ ය.

තේජෝ ධාතුව

උණුසුම් බව හා සිසිල් බව තේජෝ ධාතුව ය. එක් ව පවත්නා රූප පැසවීම, මේරවීම තේජෝ ධාතුවෙන් සිදු කරන දෙය ය. ළපටි කාලයේ දී ඒ පැසවීමෙන් රූප මෝරා ශක්තිමත් වේ. වර්ධනය වේ. මේරීම අවසන් වූ පසු නැවත නැවත වන්නා වූ පැසවීමෙන් සත්ත්ව ශරීර හා බාහිර වස්තු දිරා පිරිහී යන්නේ ය. එක ම තේජෝ ධාතුවෙන් ඒ ඒ වස්තුවල දියුණුව ය, පිරිහීමය යන දෙක ම සිදු කරනු ලැබේ. ගින්නෙහි තේජෝ ධාතුව අධික ව ඇත්තේ ය.

වායෝ ධාතුව

පුම්බවන තල්ලු කරන ස්වභාවය වායෝ ධාතුව ය. එය අධික වස්තුව, පිම්බීමෙන් මහත් වී බරින් අඩු වී පවතී. වායෝ ධාතුව ඉතා අධික දෙය සුළඟ ය. තල්ලු කරන ස්වභාවය අධික බැවින් එය නිතර සෙලවේ.

මේ ධාතු සතරෙන් එකකටවත් අනික් ධාතු තුනෙන් වෙන් ව ඇති විය නො හැකිය. පැවතිය නො හැකි ය. පඨවි ධාතුව උත්සන්න ව පවතින යකඩයෙහි ද ගලෙහි ද අනික් ධාතු ධාතුව උත්සන්න ගින්නෙහි ද, වායෝ ධාතුව උත්සන්න සුළඟෙහි ද ධාතු සතර ම ඇත්තේ ය.

ප්‍ර‍සාදරූප පස.

චක්ෂුඃ ප්‍ර‍සාදය - ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය - ඝ්‍රාණ ප්‍ර‍සාදය - ජිහ්වා ප්‍ර‍සාදය - කාය ප්‍ර‍සාදය කියා ප්‍ර‍සාදරූප පසෙකි.

දැකීමේ ආශාව - ඇසීමේ ආශාව - හොඳ ගන්ධයන් ආඝ්‍රාණය කිරීමේ ආශාව - හොඳ රසයන් ආස්වාදනය කිරීමේ ආශාව - හොඳ පහස් විඳීමේ ආශාව යන මේ ආශාවල් සත්ත්වයන් කෙරෙහි ඉතා තදින් පවත්නේ ය. සත්ත්වයා හට භවයෙහි ඉපදීමට හේතු වන කර්ම ඒ ආශාවල් හා සම්බන්ධ වී ඇත්තේ ය. එබැවින් සත්ත්වයා භවයෙහි උපදින කල්හි ආශාවල් හා සම්බන්ධකම් ඇති කර්මය ඒ ආශා කරන දේවල් ගැනීමට විඳීමට උපකරණ වන ඉන්ද්‍රියයන් ද ඒ සත්ත්වයා ගේ ශරීරයෙහි උපදවන්නේ ය. ප්‍ර‍සාදරූපය යි කියනුයේ රූපාදිය ගැනීමට උපකාර වන ඒ ඉන්ද්‍රියයන්ට ය. ප්‍ර‍සාද යන වචනයේ තේරුම ඔපය යනු යි. චක්ෂුඃ ප්‍ර‍සාදාදි නම් වලින් කියන්නේ එකිනෙකට වෙනස් වන රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් ගැනීමට උපකාර වන එකිනෙකට වෙනස් වූ ඔප පසෙකි.

චක්ෂුඃ ප්‍ර‍සාදය

ඇසෙහි පිහිටියා වූ රූප දැකීමට උපකාර වන ඔපය චක්ෂුඃ ප්‍ර‍සාදය ය. එය ඇසෙහි කළු ඉංගිරියාව මැද උකුණු හිසක් පමණ වන, තවත් මතයකින් මුං පියැල්ලෑවක් පමණ වන තැනක සියුම් සිවි තට්ටු හතක පුළුන්වල පැතිර ඇති තෙලක් සේ පිහිටා තිබේ. ඇස ඉදිරියට පැමිණෙන වස්තූන්ගේ ඡායා එතැනට වැටුණා ම එහි චක්ඛුවිඤ්ඤාණ චිත්තය උපදී. පෙනීමය කියනුයේ ඒ චක්ඛුවිඤ්ඤාණය පහළ වීමට ය. චක්ෂුඃ ප්‍ර‍සාදය කියන මේ ඔපය වෙන් කර ගත හැකි අමුතු දෙයක් නොව, මහාභූතයන්ගේම ඔපයෙකි. එය මහාභූතයන්හි ම පිහිටියෙකි. අනික් ප්‍ර‍සාදයෝ ද එසේ ම මහාභූතයන්ගේ ම ඔපයෝ ය.

ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය

ශබ්දය දැන ගැනීමට හෙවත් ඇසීමට උපකාර වන කනෙහි පිහිටි ඔපය ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය ය. එය කන් අඩියේ සියුම් තඹ වන් ලොම් සහිත මුද්දකට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. ශබ්දයේ ඡායාව එහි වැදුණු කල්හි එහි ම සෝත විඤ්ඤාණය උපදී. ඇසීම යයි කියනුයේ සෝත විඤ්ඤාණය ඉපදීමට ය. ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය අමුතු ආකාරයක ඔපයක් වන බැවින් ශබ්ද ඡායාව මිස රූප ඡායාව එහි පිළිබිඹු නො වේ.

ඝ්‍රාණ ප්‍ර‍සාදය

සුගඳ - දුගඳ දැනගැනීමට උපකාර වන නාසයෙහි පිහිටි ඔපය ඝ්‍රාණ ප්‍ර‍සාදය ය. එය නාසය ඇතුළෙහි එළු කුරයකට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. ගන්ධය දැනගන්නා වූ ඝාන විඤ්ඤාණය එහි උපදී.

ජිහ්වා ප්‍ර‍සාදය‍

ආහාර පානාදියේ රසය දැන ගැනීමට උපකාර වන දිවෙහි පිහිටි ඔපය ජිහ්වා ප්‍ර‍සාදය ය. එය දිව මතුයෙහි මානෙල් මල් පෙත්තක අග කොටසට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. ආහාර පානාදිය එහි ගැටුණු කල්හි රසය දැන ගන්නා වූ ජිව්හා විඤ්ඤාණය එහි උපදී.

කාය ප්‍ර‍සාදය

ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් දැන ගැනීමට උපකාර වන කයෙහි පැතිර පිහිටි ඔපය කාය ප්‍ර‍සාදය ය. එය පාචකාග්නිය පිහිටි ප්‍රදේශයත් කෙස් ලොම් නිය වියළි සම් හැර, සකල ශරීරයේ ම පැතිර ඇත්තේ ය. ඒ ඒ දේවල් කයෙහි සැපීම දැනගන්නා වූ කාය විඤ්ඤාණය ඒ ඔපය ඇසුරු කර ගෙන සැපුණු සැපුණු තැන්වල උපදී. ශරීරය ඇතුළත වේදනා හට ගන්නේ ශරීරය තුළ ඇති දේවල් ම එකිනෙකට ගැටීමෙනි.

3. ගෝචර රූප පස

රූපය - ශබ්දය - ගන්ධය - රසය - ස්ප්‍ර‍ෂ්ටව්‍ය ය කියා ගෝචර රූප පසෙකි. මේ රූප පස චක්ෂුරාදි ප්‍ර‍සාද පසෙහි ගොදුරු ය. එබැවින් ඒවාට ගෝචර රූපයයි කියනු ලැබේ. චක්ෂුරාදි ප්‍ර‍සාද පසට හසුවන බැවින් විෂය රූපය යි ද කියනු ලැබේ.

රූපය

මෙහි රූපය යි කියනුයේ චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි සැපෙන එයට හසු වන පැහැයට ය. එයට වර්ණ රූපය යි ද කියනු ලැබේ. චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටෙන්නේ එයට හසු වන්නේ මේ වර්ණ රූපය පමණෙකි. වර්ණය හැර අතට හසු වන වස්තූන් ඇසට නො පෙනේ. “රූපස්කන්ධය” යි කියන තැන රූප යන වචනයෙන් කියැවෙන්නේ රූප විසි අට ය. මේ වර්ණ රූපයත් ඒ විසි අටට අයත් එක් රූපයෙකි. ගෝචර රූප කියන තැන දී රූප යන වචනයෙන් කියැවෙන්නේ වර්ණ ධාතුව පමණෙකි. රූප සියල්ලට ම රූප යන නම කියනුයේ ශීතෝෂ්ණාදියෙන් විකාරයට පැමිණෙන දෙයය යන අර්ථයෙනි. වර්ණ ධාතුවට රූප යන නම කියන්නේ පෙනෙන දෙය ය යන අර්ථයෙනි. රූප විසි අටෙන් ඇසට පෙනෙන්නේ මේ වර්ණ රූපය පමණෙකි. අනික් රූප ඇසට නො පෙනේ.

ශබ්දය

ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදයෙහි ගැටෙන, ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය කරණ කොට ගෙන දැනෙන දෙය ශබ්දය ය. එය ගැටීම් පිපිරීම්වලින් හටගෙන ඉක්මනින් නැති වන රූපයකි. ඉක්මනින් නැති වීමය යි කියනුයේ අනික් රූපවලට වඩා ආයුෂ අඩු බවක් නොව, පරම්පරාව කල් නො පැවතීමය.

ගන්ධය

ඝ්‍රාණ ප්‍ර‍සාදයෙහි ගැටෙන, ඝ්‍රාණ ප්‍ර‍සාදය කරණකොට ගෙන දැනෙන රූපය ගන්ධය ය. එය සමහර වස්තුවල අධිකවත් සමහර වස්තුවල මඳවත් ඇත්තේ ය. ධාතු සතර පවතින සැම වස්තුවක ම යම්කිසි ප්‍ර‍මාණයකින් ගන්ධය ඇත ද සමහර වස්තුවල ඇති ගන්ධය ඉතා සියුම් බැවින් නො දැනේ.

රසය

ජිහ්වා ප්‍ර‍සාදයෙහි ගැටෙන, දිව කරණ කොට ගෙන දැනෙන රූපය රසය ය. එය මහාභූත ධාතූන්ගේ වෙනස්කම් අනුව අනේකාකාර වේ. රසය සැම වස්තුවක ම ඇතත් දිය වී නොයන නිසාත් ඉතා සියුම් නිසාත් ඇතැම් වස්තුවල රසය නො දැනේ. රසය දත හැකිවීමට දිය වී ජිහ්වා ප්‍ර‍සාදයෙහි සැපිය යුතු ය.

ස්ප්‍ර‍ෂ්ටව්‍යය

කාය ප්‍ර‍සාදයෙහි ගැටෙන - කාය ප්‍ර‍සාදය කරණකොට දැනෙන රූපයට ස්ප්‍ර‍ෂ්ටව්‍යයි කියනු ලැබේ. එය රූප ශබ්දාදිය වැනි අමුතු රූපයක් නො වේ. කාය ප්‍ර‍සාදයේ ගැටෙන්නේ පඨවි තේජෝ වායෝ යන මහාභූත තුන ය. කයට තද සැටියට දැනෙන්නේ පඨවි ධාතුව ය. කයට දැනෙන ශීත ස්වභාවය හා උෂ්ණ ස්වභාවය තේජෝ ධාතුව ය. කයට දැනෙන සෙලවෙන තල්ලුවන ස්වභාවය වායෝ ධාතුව ය. ආපෝ ධාතුව ස්පර්ශ වන්නක් නො වේ. ගෝචර රූප දැක්වීමේ දී ප්‍ර‍සාද පසට ම ගොදුරු වන රූප දැක්විය යුතු බැවින් කාය ප්‍ර‍සාදයට ගොදුරු වන භූතරූප තුන ස්ප්‍ර‍ෂ්ටව්‍යය නාමයෙන් දක්වා තිබේ. රූප ගණන් ගැනීමේ දී ස්ප්‍ර‍ෂ්ටව්‍ය රූපය ය කියා රූපයක් ගණන් ගනු නො ලැබේ.

එක් වස්තුවක රූප - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන සියල්ල ම ඇත්තේ ය. වස්තුවක් අතින් අල්ලන කල්හි අතට හසුවන්නේ දැනෙන්නේ එහි ඇති පඨවි ධාතුව ය. ඇසට පෙනෙන්නේ වර්ණ රූපය ය. ඇසට පෙනෙන කොටස අතට අසු නො වේ. අතට අසුවන කොටස ඇසට නො පෙනේ. එහි නාසයට දිවට දැනෙන කොටස් නාසයට දිවට ම මිස, අතට නො දැනේ. ඇසට නො පෙනේ. අතට හසුවන්නේත් ඇසට පෙනෙන්නේත් එක ම දෙය යයි සිතීම ධර්ම විභාග නො දැනීම නිසා වන වැරදි හැඟීමකි.

භාවරූප දෙක

ස්ත්‍රී භාවරූපය, පුරුෂ භාවරූපය කියා භාව රූප දෙකකි. සත්ත්ව ශරීරයට ස්ත්‍රී ස්වභාවය ගන්වන රූපය ස්ත්‍රී භාව රූපය ය. පුරුෂ ස්වභාවය ගන්වන රූපය පුරුෂභාව රූපය ය. මේ රූප දෙක ශාරීරික රූපයන් කෙරෙහි තමන්ගේ බලය පවත්වන රූප දෙකකි. එබැවින් ස්ත්‍රී භාව රූපයට “ඉත්ථින්ද්‍රිය” යි ද පුරුෂ භාවරූපයට “පුරුසින්ද්‍රිය” යි ද කියනු ලැබේ. භාවරූප සත්ත්වයනට ඇති වන්නේ ප්‍ර‍තිසන්ධි චිත්තය සමග ම ය. කාගේත් ශරීරය නිර්මිත වී ඇත්තේ සතර මහාභූතයන්ගෙනි. ඒවායේ ස්ත්‍රී - පුරුෂ භේදයක් නැත. මහාභූතයන්ගෙන් ශරීරය හැදෙන කල්හි ස්ත්‍රී භාවරූපය ඇති ශරීරය එහි ආනුභාවයෙන් ස්ත්‍රී ආකාරයෙන් සෑදේ. පුරුෂ භාවරූපය ඇති ශරීරය එහි ආනුභාවයෙන් පුරුෂාකාරයෙන් සෑදේ. භාවරූප ශරීරය සැම තැන ම පැතිර ඇත්තේ ය.

හෘදය වස්තු රූපය

චක්ඛු විඤ්ඤාණාදීන්ට ඇති වීමට ස්ථාන වන්නේ ප්‍ර‍සාදරූප පස ය. පඤ්ච-විඤ්ඤාණයන් හැර ඉතිරි සිත් ඇති වීමට ස්ථානය වන රූපය හෘදය වස්තු රූපය ය. එය පවත්නේ හෘදය කෝෂයේ ඇති ලේවල ය.

ජීවිතින්ද්‍රිය රූපය

තමා හා බැඳී උපදනා රූපයන් පරම්පරා වශයෙන් චිර කාලයක් පවත්නා පරිදි ආරක්ෂා කරන ජීවත්කරවන රූපය ජීවිතින්ද්‍රිය නම් වේ. ශරීරයක කර්මය - චිත්තය - සෘතුවය - ආහාරය යන හේතු සතරකින් හට ගන්නා රූප ඇත්තේ ය. ඒ හේතු සතරෙන් චිත්ත - සෘතු - ආහාර යන හේතු තුන, ඒවායින් උපදවන රූප ළඟ ම ඇත්තේ ය. එබැවින් චිත්තාදි හේතු තුනෙන් හට ගන්නා රූප පාලනය කරන්නට අමුතු දෙයක් වුවමනා නැත. සත්ත්ව සන්තානයේ කර්මජරූප හට ගන්නේ ඒ අවස්ථාවට නැති, අතීතයේ ඇති වී, නැති වී ගිය කර්මයකිනි. එබැවින් කර්මජ රූප පරම්පරාවන්ට චිර කාලයක් පැවැතිය හැකි වීමට ආරක්ෂා කරන තවත් දෙයක් තිබිය යුතු ය. කර්මජ රූප ආරක්ෂා කරන ඒවායේ පරම්පරාව බෝකල් පවත්වන බලය මේ ජිවිතින්ද්‍රිය රූපය ය. ජීවිතින්ද්‍රියේ ආනුභාවයෙන් කර්මජ රූප පරම්පරා වර්ෂ සිය ගණන් දහස් ගණන් මුළුල්ලෙහි නො සිඳී පවත්නේ ය.

ආහාර රූපය

ශරීරයෙහි අමුතු රූප කොටසක් උපදවා එය ශක්තිමත් කරන චිර කාලයක් පවත්වන ආහාරයන්හි ඕජාව ආහාර රූපය ය. ඒ ඕජාව සාමාන්‍යයෙන් සියලු ම වස්තුවල ඇත්තේ ය. එහෙත් සියල්ලෙහිම ඇත්තා වූ ඕජාව සකල සත්ත්වයන්ට ම ගැලපෙන්නේ නොවේ. ඒ ඒ සත්ත්වයන්ගේ ශරීරවලට ගැලපෙන ආහාර ඒ ඒ සත්ත්වයෝ අනුභව කරති. ඒවායේ ඕජාවෙන් ඔවුන්ගේ ශරීර රැකේ.

පඨවි ධාතුවේ පටන් ආහාර රූපය දක්වා කියවුණු මේ රූප අටළොස කෙළින් ම කර්මාදි ප්‍ර‍ත්‍යයන් විසින් උපදවන රූපයෝ ය. එබැවින් ඒවාට නිෂ්පන්න රූපය යි කියනු ලැබේ. තව ද ඒවාට ස්වභාව රූප - ස්වලක්ෂණ රූප-රූප රූප යන නම් ද කියනු ලැබේ.

4. අනිෂ්පන්න රූප දශය

ආකාශ ධාතුව

අජටාකාශය - රූප පරිච්ඡේදාකාශය කියා ආකාශධාතුව දෙපරිද්දෙකින් කියනු ලැබේ. සියලු ම වස්තූන්ගේ හා පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථානය වන ලෝක කුහරය අජටාකාශ නම් වේ. ඝනබද්ධ වස්තූන්හි ඇති රූප කලාප ඔවුනොවුන්ගෙන් වෙන් කරන ආකාශය පරිච්ඡේද ආකාශ නමි. අටවිසි රූපයෙන් එකක් වශයෙන් ගණන් ගන්නේ ඒ පරිච්ඡේද ආකාශය ය. මේ ආකාශ ධාතුව වෙන් වූ ඉපදීමක් ඇති නියම පරමාර්ථ ධර්මයක් නොවේ. එහෙත් රූප කලාපවල අමිශ්‍ර‍ පැවැත්මට ඒවා අතරට ආකාශයත් වුවමනා බැවින් එය එක් රූපයක් සැටියට ගණන් ගනු ලැබේ.

විකාර රූප

කාය විඤ්ඤත්තිය

ශරීරාවයව ක්‍රියා කරවන චිත්තජ වායුවේ වේගය ඒ ඒ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි ඒ ඒ අතට හරවන බල විශේෂය කාය විඤ්ඤත්තිය නම් වේ. යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහයෙන් යුක්ත වන චිත්තය උපදනා කල්හි, ඒ සිතේ බලයෙන් අඳුරු කාමරයක ගිනිකූරක් ගැසූ කල්හි, ඒ කාමරය පුරා ආලෝකයක් ඇති වන්නාක් මෙන්, සොලව්නනට වුවමනා ශරීරාවයව පුරා වායුවක් ඇති වේ. ශරීරාවයව සෙලවෙන්නේ ඒ වායු වේගයෙනි. විඤ්ඤත්ති රූපයත් ඒ වායුව සමගම ඇති වන්නකි. එයින් වුවමනා අතට වායු වේගය මෙහෙයවනු ලැබේ. ශරීරාවයවවල ඉහළ යෑම් පහළට යෑම් ආදිය ක්‍රියාවට වුවමනා පරිදි සිදු වන්නේ ඒ මෙහෙයීම නිසා ය.

වචී විඤ්ඤත්තිය

කථා කිරීමට උත්සාහ කිරීමේදී වුවමනා අකුරු වුවමනා වචන සෑදෙන පරිදි ශබ්දය මෙහෙයවන බල විශේෂය වචී විඤ්ඤත්ති නම් වේ. චිත්තජ වායුව එ ඒ ස්ථානවල ගැටීමෙන් ශබ්දය හට ගනී. ඒ ශබ්දය කාරණයට වුවමනා පරිදි ඇති වන්නේ මේ වචී විඤ්ඤත්ති රූපය නිසා ය. මේවාට විඤ්ඤත්ති යන නම දී ඇත්තේ ඒවායින් පුද්ගලයා ගේ අදහස අඟවන නිසා ය.

ලහුතාදි රූප තුන

ශාරීරික රූපයන් ගේ සැහැල්ලු බව ලහුතා නම් වේ. මෘදු බව - තද නැති බව මුදුතා නම් වේ. ක්‍රියාවට යෝග්‍ය බව හෙවත් ඔරොත්තු දෙන බව කම්මඤ්ඤතා නම් වේ. මේ රූප තුන අන්‍ය රූපයන්ගේ ගුණ තුනෙකි. කාල ගුණය නරක් වීම, සිත නරක් වීම, ආයෝග්‍ය ආහාර ගැනීම, පමණට ආහාර නො ලැබීම, නොයෙක් රෝග ඇති වීම යනාදි කරුණුවලින් ශරීරයෙහි ඉක්මනින් වැඩ කළ නො හෙන බර ගතියක් ද, නැවීම් දිග හැරීම්වලදී වේදනා උපදවන තද ගතියක් ද, වුවමනා පරිදි ශරීරය ක්‍රියා කරවන්නට අසමත් ගතියක් ද ඇති වේ. කාල ගුණය හොඳ වීම, සිත හොඳ වීම, යෝග්‍ය ආහාර පාන ලැබීම යනාදිය සිදු වන කල්හි ශරීරයෙහි ලහුතා මුදුතා කම්මඤ්ඤතා යන මේ රූප ඇති වේ.

විඤ්ඤත්ති රූප දෙකය - ලහුතාදි රූප තුනය යන මේ රූප පස විකාර රූප නම් වේ. ඒවා වරින් වර රූප කයෙහි ඇති වන ආකාර විශේෂයෝ ය. විකාර රූප යන නම දී තිබෙන්නේ එහෙයිනි.

ලක්ෂණ රූප සතර

උපචය - සන්තති - ජරතා - අනිච්චතා යන මේ සතර ලක්ෂණ රූපයෝ ය. උපචය - සන්තති යන වචන දෙකෙන් ම කියැවෙන්නේ රූපයන් ගේ උත්පාදය ය. සත්ත්වයකුට ඇති විය යුතු රූප සම්පූර්ණ වන්නට කලින් ඇති වන රූපයන් ගේ උත්පාදය උපචය නම් වේ. රූප සම්පූර්ණ වීමෙන් පසු බිඳි බිඳී යන රූප වෙනුවට නැවත නැවත පහළ වන රූපයන් ගේ උත්පාදය සන්තති නම් වේ. රූපයන් ගේ දිරීම ජරතා නම් වේ. බිඳීම අනිච්චතා නම් වේ. මේවා අන්‍ය රූපයන් ගේ ලක්ෂණ වන බැවින් ලක්ෂණ රූප නම් වේ.

පරිච්ඡේද රූපයය, විකාර රූප පසය, ලක්ෂණ රූප සතරය යන මේ රූප දශය කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් කෙළින් ම හට ගන්නා රූප නොවන බැවින් ඒවාට අනිෂ්පන්න රූපය යි කියනු ලැබේ.

මේ රූපයන් අතුරෙන් විඤ්ඤත්ති රූප දෙක්හි ආයුෂය එක් චිත්තක්ෂණයෙකි. උපචය - සන්තති රූපවල ආයුෂය කුඩා ක්ෂණ එකකි. ජරතා රූපයා ගේ ආයුෂය කුඩා ක්ෂණ සතළිස් නවයෙකි. අනිච්චතා රූපයේ ආයුෂය කුඩා ක්ෂණ එකකි. ඉතිරි රූප දෙවිස්සෙහි ආයුෂය චිත්තක්ෂණ සතොළොසකි.

5. රූප විභාගය

රූප සියල්ල ම ලෝභාදි හේතු රහිත බැවින් අහේතුකය. කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා බැවින් සප්‍ර‍ත්‍යය නම් වේ. ආශ්‍ර‍වයන්ට විෂය බැවින් සාශ්‍ර‍ව නම් වේ. කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් උපදවනු ලබන බැවින් සඞ්ඛත නම් වේ. ලෝකයට අයත් බැවින් ලෞකික නම් වේ. කාම තෘෂ්ණාවට විෂය බැවින් කාමාවචර නම් වේ. අරමුණු නො ගන්නා බැවින් අකාරම්මණ නම් වේ. ක්ලේශයන් මෙන් ප්‍ර‍හාණය කළ යුතු ඒවා නො වන බැවින් අප්‍ර‍හාතව්‍ය නම් වේ.

ප්‍ර‍සාද රූප පස ආධ්‍යාත්මික රූප නම් වේ. අවශේෂ රූප තෙවිස්ස බාභ්‍ය රූප නම් වේ.

මමය මමය කියා ආත්ම වශයෙන් සලකන බැවින් සත්ත්ව ශරීරයට අයත් රූප සියල්ල ම සාමාන්‍යයෙන් අධ්‍යාත්ම රූප නම් වේ. ආත්ම භාවයට අයත් වන රූප සමූහය අතුරෙන් ද ප්‍ර‍සාද රූපයන් කෙරෙහි ආත්ම වශයෙන් සැලකීම හා තෘෂ්ණාවත් අධික ව පවත්නා බැවින් ඒවාට විශේෂයෙන් ආධ්‍යාත්මික යන නම දී තිබේ.

ප්‍ර‍සාද රූප පසය, හෘදය රූපයය යන මේ සය වස්තු රූප නම් වේ. ඉතිරි රූප දෙවිස්ස අවත්ථු රූප නම් වේ. රූප සයකට වස්තු රූප යන නම දී ඇත්තේ විඥානයන්ට වස්තු වන බැවිනි.

ප්‍ර‍සාදරූප පසය විඥප්ති රූප දෙකය යන මේ රූප සත ද්වාර රූප නම් වේ. ඉතිරි රූප එක් විස්ස අද්වාර රූප නම් වේ. ප්‍ර‍සාදරූප පස පඤ්චවිඤ්ඤාණයන්ට ද්වාර වේ. විඥප්තිරූප දෙක කාය වාක් කර්මයන්ට ද්වාර වේ.

ප්‍ර‍සාද රූප පසය, භාවරූප දෙකය, ජීවිත රූපයය යන මේ අට ඉන්ද්‍රිය රූප නම් වේ. ඉතිරි රූප විස්ස අනින්ද්‍රිය රූප නම් වේ. ඉන්ද්‍රියය යි කියනුයේ යම් කිසිවක් කෙරෙහි අධිපත් කම් කරන ධර්මයන්ට ය. ප්‍ර‍සාදරූප පස පඤ්ච විඤ්ඤාණයන්ට අධිපති කම කෙරේ. පඤ්ච විඤ්ඤාණයෝ ප්‍ර‍සාදයන්ට අනුකූල ව උපදිති. භාව රූප දෙක ස්ත්‍රී පුරුෂ ස්වභාවයන් ගැන්වීම් වශයෙන් අන්‍ය රූපයන් කෙරෙහි අධිපති කම පවත්වයි.

ප්‍ර‍සාදරූප පසය, ගෝචර රූප සතය යන මේ රූප දොළොස ඖදාරික රූප නමුදු වේ. සන්තිකේ රූප නමුදු වේ. සප්‍ර‍තිඝ රූප නමුදු වේ. ආපෝ ධාතුව ස්ත්‍රී භාවය පුරුෂ භාවය හෘදය රූපය ජීවිත රූපය ආහාර රූපය පරිච්ඡේද රූපය විකාර රූප පසය ලක්ෂණ රූප සතරය යන මේ රූප සොළොස සූක්ෂ්ම රූප නමුදු වේ. දූරේ රූප නමුදු වේ. අප්‍ර‍තිඝ රූප නමුදු වේ.

ගෝචර රූප සතය යි කියන ලදුයේ ස්ප්‍ර‍ෂ්ටව්‍යය, පඨවි තේජෝ වායෝ කියා රූප තුනක් වන බැවිනි.

ප්‍ර‍සාදරූප හා විෂයරූප ඔවුනොවුන් ගැටෙන බැවින් ඖදාරික ය. ඖදාරික යයි කියනුයේ සියුම් නො වන බැවිනි. සන්තිකේ රූප යන වචනයෙහි තේරුම ළඟ ඇති රූපයෝය යනු යි. ප්‍ර‍සාද රූප හා ගෝචර රූප ඖදාරික බැවින් පහසුවෙන් දත හැකි ය. එබැවින් ඒවා දුර තිබුණේ ද ළඟ තිබෙනවා වැනි ය. ඒවාට සන්තිකේ රූප යන නම දෙන ලද්දේ එහෙයිනි. ඒවාට සප්‍ර‍තිඝ රූප යන නම දී ඇත්තේ ඔවුනොවුන් සැපෙන බැවිනි.

කර්මයෙන් හට ගන්නා රූප අටළොස උපාදින්න රූප නම් වේ. ඉතිරි රූප දශය අනුපාදින්න නම් වේ. කර්‍මයෙන් හට ගන්නා රූප කවරහුදැ යි මතු දත හැකි වනු ඇත. උපාදින්න යන වචනයේ තේරුම මාගේය කියා ද, මම ය කියා ද තෘෂ්ණා දෘෂ්ටීන් කරණ කොට ගදින් ගනු ලබන දෙය ය යනු යි. ශාරීරික රූප සියල්ල ම මාගේ ය මම ය කියා තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අල්ලා ගනු ලැබේ. කර්‍මජ රූප, රූප - කයේ ප්‍ර‍ධාන කොටස වන බැවින් ඒ ගැනීම කර්‍මජ රූපයන්හි වඩාත් බලවත් ව ඇත්තේ ය. එබැවින් ඒවාට විශේෂයෙන් උපාදින්න යන නම දී ඇත්තේ ය.

ගෝචර රූපයන්ගේ පළමු වැන්න වූ වර්ණ රූපය සනිදස්සන රූප නම් වේ. එහි තේරුම පෙනෙන රූපය යනු යි. රූප අට විස්සෙන් ඇසට පෙනෙන්නේ වර්ණ රූපය පමණෙකි. අන්‍ය රූප සත් විස්ස නො පෙනෙන බැවින් අනිදස්සන රූප නම් වේ.

රූපාදි අරමුණු ගන්නා බැවින් ප්‍ර‍සාද රූප පස ගෝචරග්ගාහික රූප නම් වේ. ඉතිරි රූප තෙවිස්ස අරමුණු නොගන්නා බැවින් අගෝචරග්ගාහික නම් වේ.

ප්‍ර‍සාද රූපයන්ගෙන් චක්ෂුඃ ශ්‍රෝත්‍ර‍ දෙක දුර තිබෙන අරමුණු පමණක් ගන්නා බැවින් අසම්ප්‍රාප්තග්‍රාහක නම් වේ. ඇසට පෙනෙන්නේ එහි සැපී දුර තිබෙන දෙයක් පමණෙකි. යමක් ඇසේ ම සැපී සිටිය හොත් එය ඇසට නො පෙනේ. ඇසි - පිය ඇසේ සැපී සිටින බැවින් නො පෙනේ. කනට ඇසෙන්නේ ද දුර ඇති ශබ්දය ය. අසන්නහුට ශබ්දය ඇති දිශාව දැනෙන්නේත් තැන දැනෙන්නේත් ඒ නිසා ය. ඝ්‍රාණ-ජිහ්වා-කාය ප්‍ර‍සාදයෝ දුර පිහිටි අරමුණු ගැනීමට සමත් නො වෙති.

වර්ණ-ගන්ධ-රස-ඕජා යන සතර ය, භූතරූප සතරය යන මේ රූප අට ඔවුනොවුන්ගෙන් වෙන් නො වන බැවින් අවිනිබ්භෝග රූප නම් වේ. ඉතිරි රූප විස්ස විනිබ්භෝග රූප නම් වේ.

6. රූප සමුට්ඨාන

කර්මය - චිත්තය - සෘතුව - ආහාරය කියා රූප උපදවන හේතු සතරෙකි.

කාමාවචර කුසල් සිත් අටය, රූපාවචර කුසල් සිත් පසය, අකුසල් සිත් දොළොස ය යන සිත් පස් විස්ස හා උපන් අතීත කුශලාකුශල චේතනාව නමැති කර්මය සත්ත්ව සන්තානයෙහි ප්‍ර‍තිසන්ධියේ පටන් ඒ සත්ත්වයා කෙරෙහි ක්ෂණයක් පාසා ම රූප උපදවන්නේ ය. කර්මයෙන් උපදවන ඒ රූපයන්ට කර්මජ රූප යයි කියනු ලැබේ. මෙහි ක්ෂණය යයි කීයේ සිත්වල උත්පාද-ස්ථිති-භඞ්ග යන ක්ෂණයන්ට ය. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද රූප උපදවයි. ස්ථිති - භඞ්ග ක්ෂණවලදී ද රූප උපදවයි. ප්‍ර‍තිසන්ධි චිත්තයෙන් පසු ඇති වන සිත්වල ක්ෂණත්‍රයේ දී ද එසේ ම උපදවයි. කර්මජ රූප ඉපදීම නවතින්නේ මරණයට ඉතා ළං වන විට ය. සත්ත්ව ශරීරයෙහි මිස ඉන් පිටත කර්මජ රූප නූපදී. දෙවියන්ට ඔවුන්ගේ පිනින් පහළ වන විමාන ආදිය කර්මය ද ප්‍ර‍ත්‍යය වී ඇති වන සෘතුජ රූපයෝ ය. අරූප භූමිය රූපවලට ස්ථානයක් නො වන බැවින් අරූපාවචර කුශලය රූප නූපදවයි.

අරූප විපාක සතරය, ද්විපඤ්ච විඤ්ඤාණය ය යන මේ සිත් හැර, ඉතිරි සිත් පන්සැත්තෑව රූප උපදවන සිත් ය. මේ සිත් උපදින්නේ තම තමන් විසින් උපදවන රූපත් උපදවමින් ය. සිත රූප උපදවන්නේ උත්පාදක්ෂණයේ දී ම ය. ස්ථිති - භඞ්ග ක්ෂණවලදී සිත දුබල බැවින් රූප නූපදවයි. සිතින් උපදවන රූපවලට චිත්තජ රූපය යි කියනු ලැබේ.

අරූප භූමිය රූප ඉපදීමට තැනක් නො වන බැවින් අරූප විපාක සිත් රූප නූපදවයි. අරූප භූමියේ ඇති වන අන් සිත්වලින් ද රූප නූපදවනු ලැබේ. පඤ්චවිඤ්ඤාණයන් විසින් රූප නූපදවන්නේ ද ඒ සිත් දුබල බැවිනි.

තව ද ප්‍ර‍තිසන්ධි චිත්තය හා රහතුන්ගේ ච්‍යුති චිත්තය ද රූප නූපදවයි. “සකල සත්ත්වයන්ගේ ම ච්‍යුති සිත් රූප නූපදවන්නේ ය” කියා ආචාර්‍ය්‍යවාදයක් ද ඇත්තේ ය. චිත්තජ රූප උපදින්නට පටන් ගන්නේ ප්‍ර‍තිසන්ධි චිත්තයට අනතුරු ව ඇති වන ප්‍ර‍ථම භවාඞ්ග චිත්තයාගේ උත්පාදයෙහි පටන් ය. අරූප විපාක සතරය, ද්විපඤ්ච විඥානය ය, ප්‍ර‍තිසන්ධි චිත්තය ය, රහතුන් ගේ ච්‍යුති චිත්තය ය යන මේවා රූප නූපදවන සිත් ය.

මේ ශරීරය ඉබේ සෙලවෙන්නේ නැත. අරූපී වූ සිත ද ශරීරය සෙලවීමට සමත් නො වේ. යාම් - ඊම් අත්පාදිය එසවීම් - පහත් කිරීම් ආදි ශරීරයෙන් කෙරෙන සියලුම ක්‍රියා සිදු වන්නේ සිතින් උපදවන රූපයන්ගේ බලයෙනි. සිට ගෙන සිටින තැනැත්තා ගේ ශරීරය නො වැටී කෙළින් සිටින්නේත් වාඩි වී ඉන්නා තැනැත්තාගේ ශරීරය නො වැටී එසේ තිබෙන්නේත් චිත්තජ රූපයන්ගේ බලයෙනි.

රූප උපදවන සිත් පන් සැත්තෑව අතුරෙන් අර්පණා ජවන නම් වූ මහග්ගත ලෝකෝත්තර ජවන් සවිස්ස සාමාන්‍යයෙන් රූප ඉපදවීම පමණක් නොව, සිටීම හිඳීම ශයනය යන ඉරියව් නො බිඳ පැවැත්වීම ද සිදු කරන්නේ ය. අර්පණා ජවනයන් ගෙන් උපදවන රූප ශරීරය සෙලවීමට සමත් නො වේ. එබැවින් නිදා සිටින ශරීරය නැගිටුවා හිඳ වීම, හිඳිනා ශරීරය නැගිටුවා සිට වීම, අර්පණා ජවනයෙන් උපදවන චිත්තජ රූපවලින් සිදු කරනු නො ලැබේ. ඒවායින් සිදු කරන්නේ අන් සිතකින් ඉපද වූ චිත්තජ රූපවලින් මුලින් ඇති කළ ඉරියව්ව ඒ සැටියට පැවැත්වීම ය. ඇද වැටෙන්නට නො දීමය. භවාඞ්ග සිත්වලින් උපදවන චිත්තජ රූප ඒ කාර්‍ය්‍යය සිදු කිරීමට ද සමත් නො වේ. සිට ගෙන සිටින තැනැත්තාට හෝ වාඩි වී සිටින තැනැත්තාට හෝ නින්ද ගියහොත් වැටෙන්නේ එහෙයිනි.

ව්‍යවස්ථාපනය ය, කාමාවචර ජවන් එකුන් තිසය, අභිඥා දෙසිතය යන මේ සිත් දෙතිස, රූප ඉපදවීම ය, ඉරියව් දැරීමය යන මේ දෙතිස හා කාය වාක් විඥප්තීන් ඉපදවීම ද කරන්නේ ය. ගමනාදි ක්‍රියා සිදු වන්නේ විඥප්ති උපදවන සිත්වලිනි.

ලෝභ මූල සෝමනස්ස සහගත සිත් සතර ය, හසිතුප්පාදයය, මහා කුශල මහා ක්‍රියා සෝමනස්ස සහගත සිත් අටය යන මේ සෝමනස්ස දහතුනෙන් ඉහත කී දෑ පමණක් නොව, සිනාවත් ඇති කරනු ලැබේ.

මේ සිත් තෙළෙසින් ලෝභමූල සෝමනස්ස සහගත සිත් සතරය, මහා කුශල සෝමනස්ස සහගත සිත් සතරය යන අටෙන් පෘථග්ජනයෝ සිනාසෙති. දිට්ඨි විප්පයුත්ත සෝමනස්ස සහගත සිත් දෙකින් හා මහාකුසල සෝමනස්ස සහගත සිත් සතරෙන් ශෛක්ෂයෝ සිනාසෙති. හසිතුප්පාද චිත්තයෙන් හා මහා ක්‍රියා සෝමනස්ස සහගත සිත් සතරෙන් රහත්හු සිනාසෙති.

ස්ථිතියට පැමිණි රූප කලාපයන්හි ඇති තේජෝ ධාතුව තවත් රූප කොට්ඨාසයක් උපදවන්නේ ය. තේජෝ ධාතුවට සෘතුව යි ද කියනු ලැබේ. එබැවින් රූප කලාපයන්හි ඇති තේජෝ ධාතුවෙන් උපදවන රූපවලට සෘතුජ රූපය යි කියනු ලැබේ. තේජෝ ධාතුව සෘතුජ කලාපවල ද ඇත්තේ ය. එබැවින් කර්ම-චිත්ත-සෘතු-ආහාර යන සතරෙන් ම උපදවන රූප කලාප ස්ථිතියට පැමිණි කල්හි ඒවායින් සෘතුජ රූප උපදවන බව දත යුතු ය. රූප ස්ථිතික්ෂණයෙහි දී මිස, උත්පාදක්ෂණයෙහි බලවත් නැත. සෘතුව උත්පාදක්ෂණයෙහි රූප නූපදවන්නේ එහෙයිනි.

කෑම්-පීම් ආදියෙහි ඇත්තා වූ ඕජා සඞ්ඛ්‍යාත ආහාරය ශරීරගත ව ස්ථිතියට පැමිණි කල්හි එයින් ද රූප කොටසක් උපදවනු ලැබේ. ඒවාට ආහාරජ රූපය යි කියනු ලැබේ. ඕජාවය යි කියනු ලබන ආහාර රූපය ශරීරයේ ලේ මස් ආදියට අයත් සියලු ම රූප කලාපවල ඇත්තේ ය. ආහාරජ රූප උපදවන්නේ පිටතින් ගත් ඕජාවය, ශරීරයේ ම ඇති ඒජාවය යන දෙ වර්ගය එකතු වීමෙනි. පිටතින් ගන්නා ඕජාවන් ශාරීරික ඕජාවේ උපකාරය නො ලැබ රූප උපදවන්නට සමත් නො වේ. ශාරීරික ඕජාවත් පිටතින් ගන්නා ඕජාවේ උපකාරය නො ලැබ රූප ඉපදවීමට සමත් නො වේ.

පිටතින් ගන්නා ආහාරය රූප ඉපදවීම සඳහා ශාරීරික ඕජාවට උපකාර වෙනවා මිස, එයින් රූප ඉපදවීමක් සිදු කරන්නේ නැතය යන ආචාර්‍ය්‍ය වාදයක් ද ඇත්තේ ය.

අනුභව කළ ආහාරයෙන් පමණක් නො ව, ඇඟ ගැල්වූ ආහාරයෙන් ද රූප උපදවන බව ද, මව අනුභව කළ ආහාරයෙන් ම කුස තුළ ඉන්නා දරුවාගේ ශරීරයෙහිත් රූප උපදවන බව ද කියා තිබේ.

7. කර්මාදියෙන් හට ගන්නා රූප

රූපයන් අතර කර්මාදි එක් ප්‍ර‍ත්‍යයකින් ම හට ගන්නා රූප ද ඇත්තේ ය. ප්‍ර‍ත්‍යය දෙකකින් හට ගන්නා රූප ද ඇත්තේ ය. ප්‍ර‍ත්‍යය තුනකින් හතරකින් හට ගන්නා රූප ද ඇත්තේ ය. කිසි ම ප්‍ර‍ත්‍යයකින් නො හටගන්නා රූප ද ඇත්තේ ය.

හෘදය රූපය - ඉන්ද්‍රිය රූප අට ය යන මේ රූප නවය කර්මයෙන් ම හටගන්නා රූපයෝ ය.

විඤ්ඤත්ති රූප දෙක සිතින් ම හටගන්නේ ය.

ශබ්දය, චිත්ත - සෘතු දෙකින් ම හටගන්නේ ය. කථා කරන ශබ්දය චිත්තජ ශබ්දය ය. සුළං හැමීම් ආදියෙන් හට ගන්නා ශබ්දය සෘතුජ ශබ්දය ය.

ලහුතා - මුදුතා - කම්මඤ්ඤතා යන විකාර රූප තුන සෘතු - චිත්ත - ආහාර යන හේතු තුනෙන් ම හට ගන්නේ ය. ලහුතාදි රූප හටගන්නේ හොඳ චිත්ත - සෘතු - ආහාරවලිනි. සෘතුව නරක් වූ කල්හි හටගන්නා චිත්තජ රූපයන්හි ද, සිත නරක් වූ කල්හි හට ගන්නා චිත්තජ රූපවල ද නො මනා ආහාරයෙන් හටගන්නා රූප කලාපවල ද ලහුතාදි තුන නො ලැබේ. ලහුතාදියෙන් යුක්ත රූප කලාප නැති කල්හි ශරීරය බර ව තද ව ක්‍රියා කිරීමට හොඳ නැති තත්ත්වයකින් පවතී.

අවිනිබ්භෝග රූප අට ය, ආකාශ ධාතුවය යන මේ රූප නවය ප්‍ර‍ත්‍යය සතරෙන් ම හටගන්නේ ය. ඉතා ම කුඩා දෙය හැටියට සලකන පරමානුවෙහි ද රූප කලාප බොහෝ ගණනක් ඇත්තේ ය. ඒ රූප කලාප එකිනෙකට වෙන් කරන ආකාශයක් ද ඒවා අතර ඇත්තේ ය. ආකාශ ධාතුව කිසිම ප්‍ර‍ත්‍යයකින් නො හට ගන්නා දෙයක් බව කිය යුතු වුව ද, කර්මාදි ප්‍ර‍ත්‍යයන් ගෙන් හටගෙන එකට බැඳී පවත්නා වූ රූප කලාප ඔවුනොවුන් ගෙන් වෙන් කරමින් ඒවා අතර පවත්නා වූ ආකාශයත් ඒ ඒ ප්‍ර‍ත්‍යයන් ගෙන් ම හටගන්නා රූපයක් හැටියට ගණන් ගැනීමෙන් ආකාශ ධාතුව කර්මාදි ප්‍ර‍ත්‍යය සතරෙන් ම හටගන්නා රූපයක් ලෙස කියනු ලැබේ.

ලක්ෂණ රූප සතර කිසි ම ප්‍ර‍ත්‍යයකින් නො හට ගන්නේ ය. ඒවා ප්‍ර‍ත්‍යයෙන් නො හටගන්නා රූප සැටියට කියනුයේ ඒවා කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් හට ගන්නා රූපයන් ගේ ඉපදීමය -දිරීමය - බිඳීමය යන ලක්ෂණ මාත්‍ර‍යක් ම වන බැවිනි. උපචය - සන්තති රූප දෙක කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා රූප ලෙස අටුවාවල දක්වා තිබේ.

අවිනිබ්භෝග රූප අටය, ආකාශ ධාතුව ය, හෘදය රූපය ය, ඉන්ද්‍රිය රූප අට ය යන මේ රූප අටළොස කර්මජ රූපයෝ ය.

අවිනිබ්භෝග රූප අට ය, ආකාශ ධාතුව ය, ශබ්දය ය, විඤ්ඤත්ති රූප දෙක ය, ලහුතාදි රූප තුන ය යන මේ පසළොස චිත්තජ රූපයෝ ය.

අවිනිබ්භෝග රූප අට ය, ආකාශ ධාතුව ය, ශබ්දය ය, ලහුතාදි තුන ය යන මේ රූප තෙළෙස සෘතුජ රූපයෝ ය.

අවිනිබ්භෝග රූප අට ය, ආකාශ ධාතුව ය, ලහුතා දි තුන ය යන රූප දොළොස ආහාරජ රූපයෝ ය.

8. රූප කලාප

රූපයෝ තනි තනි ව උපන්නාහු නො වෙති. තවත් රූපවලට සම්බන්ධ නො වී තනි ව ඉපදිය හැකි පැවතිය හැකි ශක්තියක් රූපවලට ඇත්තේ ද නැත. ඒවා ඇති වන්නේ ද පවතින්නේ ද සමූහ වශයෙනි. ඒ එක් එක් සමූහයක අඩු ගණනින් රූප අටක් වත් ඇත්තේ ය. එක් ව ඇති වන්නා වූ ඒ රූප සමූහවලට රූපකලාප යයි කියනු ලැබේ.

රූප කලාපයට පර්‍ය්‍යන්ත පරිච්ඡේදයක් ඇත්තේ ය. රූප කලාපයට අයත් වෙන් වෙන් වූ රූපවලට පර්‍ය්‍යන්ත පරිච්ඡේදයක් නැත්තේ ය. එක් කලාපයක රූප පවත්නේ එක් රූපයක් අනික් රූපවල ගැලී තිබෙන්නාක් මෙනි. අනික් රූප ද ඒ රූපයෙහි ගැලී තිබෙන්නාක් මෙනි. තවත් ක්‍ර‍මයකින් කියත හොත් එක් රූපයක් අනික් රූප ගිලගෙන සිටින්නාක් මෙනි. අනික් රූප ඒ රූපය ගිලගෙන සිටින්නාක් මෙනි. මේ කාරණය පැහැදිලි කිරීමට උපමාවක් ද නැත. එහෙත් යම්තමට කාරණය තේරුම් ගැනීමට උපකාර වන උපමාවක් දැක්විය හැකි ය. ඒ මෙසේ ය:-

හාල් පිටි - තිරිඟු පිටි - කුරක්කන් පිටි - බාර්ලි පිටි යන මේ සතර වර්ගයෙන් ස්වල්පය බැගින් ගෙන හොඳින් මිශ්‍ර‍ කොට වතුරෙන් අනා ගුළියක් කළ කල්හි “සහල් පිටි ඇත්තේ කොහි දැ” යි විචාළ හොත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතු ය. “තිරිඟු පිටි ඇත්තේ කොහිදැ” යි විචාරත හොත් එයත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතු ය. “කුරක්කන් පිටි ඇත්තේ කොහිදැ” යි විචාරත හොත් එයත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතු ය. “බාර්ලි පිටි ඇත්තේ කොහිදැ” යි විචාරත හොත් එයත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතු ය. දැන් ඒ සියල්ල ම එකතු කොට බැලුව හොත් ඒ පිටි සතර වර්ගය ඔවුනොවුන් ගිලගෙන සිටින බව ඔබට තේරුම් ගත හැකි වනු ඇත. පිටි ගුළියෙහි පිටි මෙන් රූප කලාපයක රූපත් ඔවුනොවුන් ගිල ගෙන සිටින්නාක් මෙන් මිශ්‍ර‍ වී ඇති බව දත යුතු ය. මිශ්‍ර‍ වුව ද පිටි ගුළියෙහි කුඩා පිටි කැබලි ඇත්තේ වෙන් වෙන් වශයෙනි. රූප කලාපයක රූපවල එසේ වෙන් ව පැවැත්මක් නැත්තේ ය. එහි ඇත්තේ අතරක් නැති සම්පූර්ණ මිශ්‍ර‍ණයෙකි. රූප කලාපයක ප්‍ර‍මාණය නො කිය හැකි ය. එය පරමාණුවට ද වඩා බොහෝ කුඩා ඇසට නො පෙනෙන දෙයකි.

එකට ඉපදීමය, එකට බිඳීමය, එක නිඃශ්‍ර‍යක් ඇති බව ය, එකට පැවැත්මය යන මේවා රූප කලාපයේ ලක්ෂණයෝ ය. රූප කලාප සෑදීමත් ක්‍ර‍මයක් අනුව සිදු වන්නකි. එබැවින් රූප කලාප එක විස්සක් වේ. ඒ එක් විස්සෙන් කර්මයෙන් හටගන්නා කලාප නවයෙකි. චිත්තයෙන් හටගන්නා කලාප සයකි. සෘතුවෙන් හටගන්නා කලාප සතරකි. ආහාරයෙන් හටගන්නා කලාප දෙකකි.

කර්මජ කලාප නවය

  1. ජීවිත රූපය, අවිනිබ්භෝග රූප අටය, චක්ෂුඃ ප්‍ර‍සාදය යන රූප දශය එක් වීමෙන් සෑදෙන කලාපය චක්ෂුර් දශක කලාප නම් වේ.
  2. ජීවිත රූපය, අවිනිබ්භෝග රූප අටය යන මේ නවයට ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය ශ්‍රෝත්‍ර‍ දශක කලාප නම් වේ.
  3. ඒ නවයට ඝ්‍රාණ ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය ඝ්‍රාණ දශක කලාප නම් වේ.
  4. ඒ නවයට ජිහ්වා ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය ජිහ්වා දශක නම් වේ.
  5. කාය ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය කාය දශක නම් වේ.
  6. ස්ත්‍රී භාව රූපය එක්වීමෙන් සෑදෙන කලාපය ස්ත්‍රීභාව දශක නම් වේ.
  7. පුරුෂ භාව රූපය එක් වීමෙන් සෑදෙන කලාපය පුම්භාව දශක නම් වේ.
  8. හෘදය රූපය එක් වීමෙන් සෑදෙන කලාපය වස්තු දශක නම් වේ.
  9. අවිනිබ්භෝග රූප අටට ජීවිත රූපය එක් වීමෙන් සෑදෙන කලාපය ජීවිතනවක නම් වේ.

මෙසේ කර්‍මජ කලාප නවයක් වේ.

චිත්තජ කලාප සය

  1. අවිනිබ්භෝග රූප අට ශුද්ධාෂ්ටක කලාපය නම් වේ.
  2. ඒ අටට කාය විඤ්ඤත්තිය ද එක් වීමෙන් සෑදෙන කලාපය කායවිඤ්ඤත්ති නවක නම් වේ.
  3. ඒ අටට වචී විඤ්ඤත්තිය හා ශබ්ද රූපය එක් වීමෙන් සෑදෙන කලාපය වචීවිඤ්ඤත්තිදසක නම් වේ.
  4. අවිනිබ්භෝග රූප අටට ලහුතාදි තුන එක් වීමෙන් සෑදෙන කලාපය ලහුතාදේකාදසක නම් වේ.
  5. අවිනිබ්භෝග රූප අටට කායවිඤ්ඤත්තිය හා ලහුතාදි තුන එක් වීමෙන් සෑදෙන කලාපය කායවිඤ්ඤත්ති ලහුතාදි ද්වාදසක නම් වේ.
  6. අවිනිබ්භෝග රූප අටට වචීවිඤ්ඤත්තිය හා ශබ්දයත් ලහුතාදි තුනක් එක් වීමෙන් සෑදෙන කලාපය වචීවිඤ්ඤත්ති සද්ද ලහුතාදි තේරසක නම් වේ. මෙසේ චිත්තක කලාප සයකි.

සෘතුජ කලාප සතර

  1. ශුද්ධාෂ්ටක කලාපය
  2. ශබ්දනවක කලාපය
  3. ලහුතාදේකාදශක කලාපය
  4. ශබ්දලහුතාදි ද්වාදශක කලාපය

මෙසේ සෘතුජ කලාප සතරෙකි.

ආහාර කලාප දෙක

  1. ශුද්ධාෂ්ටකය
  2. ලහුතාදේකාදශකය

මෙසේ ආහාරජ කලාප දෙකකි.

මේ එක්විසි රූප කලාපයන් අතුරෙන් ශුද්ධාෂ්ටකය ශබ්ද නවකය යන සෘතුජ කලාප දෙක සත්ත්ව ශරීරයෙන් පිටත ද ඇත්තේ ය. ඉතිරි කලාප එකුන්විස්ස සත්ත්ව ශරීරයන්හි මිස, පිටත නො ලැබෙන්නේ ය.

පස් - ගල් - ගින්දර - වතුර - සුළඟ - මල් - කොළ - ගෙඩි - පොතු - මුල් - අරටු ආදි වශයෙන් ලෝකයෙහි යම් යම් දෙයක් වේ නම්, ඒ සියල්ල ම ශුද්ධාෂ්ටක කලාපයෝ ම ය. සත්ත්ව ශරීරවලත් වැඩි හරියක් ඇත්තේ ශුද්ධාෂ්ටක කලාපයන් ම ය. පැහැයෙන් ද සටහනින් ද රසයෙන් ද තද බව මොළොක් බව රළු බව සිනිඳු බව ආදි ගුණවලින් ද බරෙන් ද එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් වන අනේක ප්‍ර‍කාර වස්තූන් එක ම ශුද්ධාෂ්ටක කලාපයෙන් ඇති වන්නේ, ශුද්ධාෂ්ටක කලාප සෑදී ඇති මහාභූතයන් ගේ වෙනස් කමෙනි. ශුද්ධාෂ්ටක කලාපවලින් සමහරෙක පෘථිවි ධාතුව උත්සන්න ය. අනික් ධාතු තුන හීන ය. සමහරෙක පෘථිවි ආපෝ ධාතු දෙක උත්සන්න ය අනික් ධාතු දෙක හීන ය. මෙසේ ඒ ඒ ධාතුවල වෙනස්කම්වලින් වර්ග දහස් ගණනක ශුද්ධාෂ්ටක කලාප ඇත්තේ ය. එක ම ශුද්ධාෂ්ටක කලාපයෙන් නානාප්‍ර‍කාර වස්තු සෑදී ඇත්තේ මේ ධාතු නානාත්වය නිසා ය. ආකාශ ධාතු රූප කලාපයන් එකිනෙකින් වෙන් කරමින් ඒවායින් පිටත සිටින්නක් බැවින් කලාපවලට අයත් නො වේ. ලක්ෂණ රූප සතරක් කලාපයන්ගේ ලක්ෂණ මාත්‍ර‍යක් බැවින් ඒවාට ඇතුළත් නො වේ.

9. රූප ප්‍ර‍වෘත්ති ක්‍ර‍මය

රූප ඇති වන සැටි දක්වා ඇත්තේ සත්ත්ව යෝනි අනුව ය. අණ්ඩජය, ජලාබුජය, සංසේදජය, ඕපපාතිකය කියා සත්ත්ව යෝනි සතරක් ඇත්තේ ය. සර්ප - පක්ෂි - මත්ස්‍යාදි අණ්ඩ කෝෂයෙහි උපදනා සත්ත්වයෝ අණ්ඩජ නම් වෙති. මිනිස් - සිවුපා ආදි වස්ති කෝෂයෙහි (වැදෑමසෙහි) උපදනා සත්ත්වයෝ ජලාබුජ නම් වෙති. මළකුණු - පල් වතුර - කොළ - මල් ආදියෙන් උපදනා සත්ත්වයෝ සංසේදජ නම් වෙති. කර්මානුරූපව පහළ වීම් වශයෙන් උපදනා දේව-බ්‍ර‍හ්මාදි සත්ත්වයෝ ඕපපාතික නම් වෙති.

මේ රූප සියල්ල ම කාම ලෝකයෙහි ප්‍ර‍වෘත්ති කාලයෙහි ලැබෙන්නේ ය. සංසේදජයන්ට හා ඕපපාතිකයන්ට චක්ඛු - සෝත - ඝාන - ජිව්හා - කාය - භාව - වත්ථු යන දශක සත ප්‍ර‍තිසන්ධි චිත්තය සමග ම පහළ වන්නේ ය. ඔවුන්ගෙන් ඇතැමකුට සමහර විට චක්ඛු - සෝත - ඝාන - භාව දසකයන් නො ලැබී ද යන්නේ ය.

ඇතැම් සත්ත්ව කෙනකුන්ට ඇතැම් ඉන්ද්‍රියයන් නො ලැබී යාම වනාහි ඔවුන්ගේ ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් කර්‍මයා ගේ දුබල කමින් ද සිදු වේ. යම් කිසි අකුශල කර්‍මයකින් ඉන්ද්‍රිය පහළ වීම වැළැක්වීම නිසා ද සිදු වේ.

ඒ දශකයන් ගෙන් චක්ෂුර් දශකය නො ලැබූවෝ අන්ධයෝ ය. ශ්‍රෝත්‍ර‍ දශකය නො ලැබූවෝ බිහිරෝ ය. භාව දශකය නො ලැබූවෝ නපුංසකයෝ ය. ඝාන දශකය නො ලැබූවෝ අප්‍ර‍සිද්ධයහ.

ඇතැමුන්ට නො ලැබී යන චක්ෂුර් - ශ්‍රෝත්‍ර‍ - ඝාන - භාව දශක සතර ම දුර්ගති අහේතුක, සුගති අහේතුක සංස්වේදජ සත්ත්වයනට සමහර විට නො ලැබී යන්නේ ය.

ඇතැම් දුර්ගති අහේතුක ඕපපාතිකයනට චක්ෂුශ්-ශ්‍රෝත්‍ර‍-භාව දශකයෝ නො ලැබෙති. ඝ්‍රාණ දශකය නො ලැබෙන ඕපපාතිකයන් නැති බව කියා තිබේ. ආදිකල්පික ඕපපාතික මිනිසුන්ට භාව දශකය නො ලැබීම හැර, සුගතියෙහි ඕපපාතිකයනට දශක හානියක් නැත. සංස්වේදජ සත්ත්වයෝ ඉපද ක්‍ර‍මයෙන් වැඩෙති. ඕපපාතික සත්ත්වයෝ සම්පූර්ණ ශරීර ඇති ව ම උපදිති. ඉපදීමෙන් පසු ඔවුන්ගේ වැඩීමක් නැත.

මාතෘගර්භයෙහි ශයනය කරන බැවින් අණ්ඩජ-ජලාබුජ සත්ත්වයනට ගර්භශායිකය යි කියනු ලැබේ.

සංස්වේදජ ඕපපාතික සත්ත්වයන්ට මෙන් ගර්භශායික සත්ත්වයනට බොහෝ රූප කලාප නො ලැබේ. ඔවුන්ට ප්‍ර‍තිසන්ධික්ෂණයෙහි ලැබෙන්නේ කාය භාව වස්තු දශක තුන ය. එයින් ද භාව දශකය සමහරුන්ට නො ලැබේ. ඔවුනට චක්ෂුශ්ශ්‍රෝත්‍ර‍ ඝ්‍රාණ ජිහ්වා දශකයෝ ප්‍ර‍වෘත්ති කාලයෙහි පහළ වෙති. අල්පායුෂ්ක සත්ත්වයෝ මවු කුස මඳ කලක් වෙසෙති. දීර්ඝායුෂ්ක සත්ත්වයෝ මවු කුස වැඩි කලක් වෙසෙති. මවු කුස මඳ කලක් වෙසෙන සත්ත්වයනට චක්ෂුරාදි දශක සතර ඉක්මනින් ද, වැඩිකල් මවු කුස වෙසෙන සත්ත්වයනට කල් ගත වීමෙන් ද පහළ වේ. මනුෂ්‍යයනට චක්ෂුරාදි දශක සතර පහළ වන්නේ ප්‍ර‍තිසන්ධියෙන් පසු එකොළොස් වන සතියේ අවසාන දිනයෙහි ය. දින වශයෙන් කියත හොත් පිළිසිඳීමෙන් සත් සැත්තෑවන දිනයේ ය. මෙය පිළිබඳ ව තවත් ආචාර්‍ය්‍යවාද ඇත්තේ ය.

මෙසේ සත්ත්වයනට ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි පටන් කර්මජ කලාපයෝ පහළ වෙති. දෙවන සිතේ උත්පාදක්ෂණයේ පටන් චිත්තජ රූපයෝ පහළ වෙති. දෙවන සිතය යි කියනුයේ ප්‍ර‍තිසන්ධියට අනතුරු ව ඇති වන භවාඞ්ග සිත ය. එය ප්‍ර‍ථම භවාඞ්ග සිත ය. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ ස්ථිති කාලයෙහි පටන් සෘතුජ කලාපයෝ පහළ වෙති. ඕජාව ශරීරයෙහි පැතිරීමේ පටන් ආහාරජ කලාපයෝ පහළ වෙති. ජීවිත නවක කලාප ද සත්ත්ව ශරීරවල ඇත්තේ ය. එහෙත් එහි පටන් ගන්නා අවස්ථාවක් දක්වා නැත.

ගර්භශායික සත්ත්වයනට ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි කාය-භාව-වස්තු දශක තුන පහළ වන බව කියන ලදී. ඒවා කර්මජ කලාපයෝ ය. එක් එක් චිත්තයක උත්පාදාදි ක්ෂණ තුනෙහි ම කර්මජ රූප පහළ වන බව ද ඉහත කියා ඇත. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි කාය-භාව-වස්තු දශක තුන පහළ වීමෙන් ම ඒවායේ ඉපදීම නවතින්නේ නො වේ. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ ස්ථිති ක්ෂණයෙහි ද නැවත අලුත් කලාප තුනක් පහළ වන්නේ ය. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අලුත් කලාප තුනක් පහළ වන්නේ ය. මෙසේ ඉදිරියට ඇති වන සිත්වල උත්පාදාදි ක්ෂණ තුන සමඟ ම කාය-භාව-වස්තු දශක පහළ වන්නේ ය. ප්‍ර‍තිසන්ධි චිත්තයාගෙත් ස්ථිති ක්ෂණය වන කල්හි එහි උත්පාදක්ෂණයෙහි පහළ වූ කලාප තුනට ස්ථිතියෙහි දී පහළ වූ කලාප තුන ද එකතු වීමෙන් කලාප නවයක් වේ. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ භඞ්ගක්ෂණය වන කල්හි එහිදී පහළ වන කලාප තුනට උත්පාද ස්ථිතික්ෂණවලදී පහළ වූ කලාප සය එකතු වීමෙන් කලාප නවයක් වේ. මෙසේ ඉදිරියට චිත්තක්ෂණයක් පාසා පහළ වන කලාපවලට පළමු පළමු ක්ෂණවලදී පහළ වූ කලාප එකතු වීමෙන් කලාප සඞ්ඛ්‍යාව වැඩි වන සැටි තේරුම් ගත යුතු ය.

ප්‍ර‍තිසන්ධි චිත්තය හා උපන් කර්මජ කලාප තුන නිරුද්ධ වන්නේ ප්‍ර‍තිසන්ධි චිත්තයේ උත්පාදක්ෂණයේ පටන් පනස් එක් වන ක්ෂණයේ ය එය දහසය වෙනි භවාඞ්ගයාගේ භඞ්ගක්ෂණය ය. දහසය වන භවාඞ්ගයාගේ ස්ථිතික්ෂණය වන විට කර්මජ කලාප එකසිය පනසක් වන්නේ ය. පනස් එක් වන ක්ෂණය පැමිණි කල්හි එහි උපදින නිරුද්ධ වන කලාපත් සමග කර්මජ කලාප එකසිය පනස් තුනක් වන්නේ ය. ඉදිරි චිත්තක්ෂණවලදී උපදින කලාප තුනක් හා නිරුද්ධ වන කලාප තුනක් ද ඇති බැවින් කලාප ගණන පිළිබඳ වෙනසක් සිදු නොවේ. මේ රූප කලාප රාශියට ප්‍ර‍ථම භවාඞ්ගයාගේ උත්පාදක්ෂණයෙහි පටන් චිත්තයන්ගේ උත්පාදක්ෂණයක් පාසා චිත්තජ කලාපයක් ද එකතු වන්නේ ය. සෑම කලාපයක් ම තම තමන් ගේ ස්ථිතික්ෂණවලදී සෘතුජ කලාප උපදවන බැවින් ඒවා ද එකතු වන්නේ ය. මවු කුස ඉන්නා සත්ත්වයා ගේ ශරීරයට මවු අනුභව කරන ආහාරවල ඕජාව පැමිණෙන්නේ ය. එතැන් පටන් ඉහත කී රූප සමූහයට ආහාරජ රූප ද එකතු වන්නේ ය. මෙසේ කාම ලෝකයේ සත්ත්වයන්ගේ ශරීරයන්හි කර්මාදි ප්‍ර‍ත්‍යය සතරෙන් හට ගන්නා වූ රූප කලාප පරම්පරාවෝ ජීවත් වන තාක් පවත්නාහ.

10. රූප නිරෝධය

මරණාසන්න කාලයෙහි ච්‍යුති චිත්තයෙන් මොබ සතළොස් වන චිත්තයාගේ ස්ථිතික්ෂණයේ පටන් අලුත් කර්මජ රූප ඉපදීම නවතී. සතොළොස් වන චිත්තය සමග උපන් කර්මජ රූපයෝ චුති චිත්තය සමග නිරුද්ධ වෙති. කලින් උපන් කර්මජ රූපයෝ ච්‍යුති චිත්තයේ නිරෝධයට කලින් ම නිරුද්ධ වෙති. ච්‍යුති චිත්තයෙන් සතළොස් වන චිත්තයා ගේ ස්ථිතියේ පටන් කර්මජ රූප නො ඉපදීම, ච්‍යුති චිත්තයේ අනුහසින් සිදු වන්නක් නොවේ. කර්මජ රූප ඉපදීම නැවතීමෙන් පසු ඒ ශරීරයේ ඉඩ ඇත්තේ අලුත් සිත් දහසයකට ඉපදීමට පමණෙකි. එබැවින් කර්මජ රූප ඉපදීම නැවතීම නිසා ම ඒ සිතේ පටන් දාහත් වන චිත්තය ච්‍යුති චිත්තය වන්නේ ය. ඉන් පසු ඒ ශරීරයේ සිත්වල ඉපදීමට ආධාර වන වස්තු රූප නැත්තේ ය. ච්‍යුති චිත්තයෙන් පසු ඒ ශරීරයෙහි සිත් නූපදනා බැවින් චිත්තජ රූප පරම්පරාවව ද සිඳෙන්නේ ය. ජීවිතින්ද්‍රිය විරහිත ශරීරයෙහි ආහාරජ රූප ඉපදීමක් නැති බැවින් ආහාරජ රූප පරම්පරාව ද සිඳෙන්නේ ය. මරණයෙන් පසු එහි සෘතුජ රූප පරම්පරාව පමණක් දීර්ඝ කාලයක් පවත්නේ ය. මැරෙන්නා වූ සත්ත්වයාට මෙසේ භවයක් පාසා නැවත නැවත රූප පරම්පරා ඇති වීම හා සිඳී යාමත් වන්නේ ය.

රූප ලෝකයේ රූප ප්‍ර‍වෘත්තිය

රූප ලෝකයෙහි වනාහි ඝ්‍රාණ - ජිහ්වා - කාය භාව කලාපයන් හා ආහාරජ කලාපයෝ ද නො ලැබෙත්. එබැවින් රූපී බ්‍ර‍හ්මයනට ප්‍ර‍තිසන්ධි කාලයෙහි චක්ෂුශ්-ශ්‍රෝත්‍ර‍ වස්තු දශක තුන හා ජීවිත නවකය ද යන කර්මජ කලාප සතර පහළ වේ. ප්‍ර‍වෘත්ති කාලයෙහි චිත්තජ සෘතුජ කලාපයෝ ද ලැබෙත්.

අසංඥ සත්ත්වයනට වනාහි චක්ෂුශ් - ශ්‍රෝත්‍ර‍ - ඝ්‍රාණ - ජිහ්වා - කාය - භාව - වස්තු දශකයන් හා ශබ්ද රූපය ද සියලු චිත්තජ රූප ද නො ලැබේ. ඔවුනට ප්‍ර‍තිසන්ධියෙහි ලැබෙන්නේ ජීවිත නවක කලාප පමණෙකි. ප්‍ර‍වෘත්ති කාලයෙහි ශබ්දය හැර ඉතිරි සෘතුජ රූප ලැබේ.

මෙසේ කාම - රූප - අසංඥ සඞ්ඛ්‍යාත භවත්‍රයෙහි ප්‍ර‍තිසන්ධි ප්‍ර‍වෘත්ති වශයෙන් රූප ප්‍ර‍වෘත්තිය දත යුත්තේ ය.

කාම භවයෙහි රූප විසි අට ම ලැබ්. ඝ්‍රාණ-ජිහ්වා කාය ප්‍ර‍සාදයන් හා භාව රූප දෙකය යන රූප පස රූප භවයෙහි නො ලැබේ. ඉතිරි රූප තෙවිස්ස එහි ලැබේ. අසංඥ භවයෙහි ජීවිත නවකය - ලහුතාදි තුන - උපචය - සන්තති - ජරතා - අනිච්චතා - ආකාශ ධාතුව යන සතළොස ලැබේ. ප්‍ර‍සාද රූප පස, භාව රූප දෙක විඥප්ති රූප දෙක, හෘදය රූපය, ශබ්ද රූපය යන මේ රූප එකොළොස අසංඥ භවයෙහි නො ලැබේ.

ශබ්දය - විඥප්ති රූප දෙක - ලහුතා තුන - ජරතා රූපය - අනිච්චතා රූපය යන මේ රූප අට ප්‍ර‍තිසන්ධි අවස්ථාවේ නො ලැබේ. ප්‍ර‍වෘත්ති කාලයෙහි මේ රූප සියල්ල ම ලැබේ.

මේ රූප ප්‍ර‍වෘත්ති ක්‍ර‍මය ය.

11. නිර්‍වාණය

සැම කල්හි ඇත්තා වූ, දිරීමක් නැත්තා වූ, බිඳීමක් නැත්තා වූ, ලෝකෝත්තර මාර්ග ඥානයෙන් ම ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැකිය යුතු වූ ලෝකෝත්තර වූ පරම සුඛ ස්වභාවය නිර්‍වාණ නම් වේ.

සැපය වනාහි වේදයිත සුඛය - විමුක්ති සුඛය කියා දෙපරිදි වේ. චක්ෂුරාදි ඉන්ද්‍රියයන් කරණකොට ගෙන විඳින්නා වූ සැපය වේදයිත සුඛ නම් වේ. හොඳ දේවල් හොඳ පුද්ගලයන් දැකීමෙන් ද, හොඳ ශබ්ද ඇසීමෙන් ද, හොඳ ගන්ධ ආඝ්‍රාණය කිරීමෙන් ද, හොඳ රසයන් වැළඳීමෙන් ද, ඇඟට හොඳ දේවල් ඇඟේ සැපීමෙන් ද, යාන වාහන ගෙවල් වතු කුඹුරු වස්ත්‍රාභරණ මිළ මුදල් ආදි කාම වස්තූන් ලැබීමෙන් ද, තනතුරු ගරු බුහුමන් ලැබීමෙන් ද, තවත් කැමති වන දේවල් ලැබීමෙන් ද සිතට - කයට ඇති වන සැප සියල්ල ම වේදයිත සුඛයෝ ය.

පැමිණ ඇත්තා වූ ද, මතු පැමිණෙන්නට ඇත්තා වූ ද, දුක් කරදරවලින් විපත්වලින් මිදීම විමුක්ති සුඛය ය. නිවන් සුඛය වේදයිත සුඛයක් නො වේ. එය විමුක්ති සුඛයෙකි. පැමිණියා වූ ඇතැම් දුක්වලින් මිදීම සඳහා මනුෂ්‍යයන් බොහෝ වෙහෙසෙන්නේ, බොහෝ ධනය වියදම් කරන්නේ, මුදල් නැති කල්හි ඉඩ-කඩම් පවා විකුණා වියදම් කරන්නේ, වාසය කරන ගෙය පවා උකස් කොට මුදල් ගෙන වියදම් කරන්නේ ඒ දුකින් මිදීම වූ විමුක්ති සුඛය ඉතා හොඳ දෙයක් - වටිනා දෙයක් නිසා ය. විමුක්ති සුඛය පලක් නැති නො වටිනා දෙයක් නම්, මනුෂ්‍යයෝ එය සඳහා වියදම් නො කරන්නා හ. බලවත් දුකකින් පෙළෙන්නහුට කොතෙක් ධනය ඇතත් - නෑ මිතුරන් ඇතත් සුවයක් නොලැබිය හැකි ය. ධනාදියෙන් ලබන වේදයිත සුඛයන් විඳිය හැකිවීමටත් විමුක්ති සුඛය තිබිය යුතුම ය. එබැවින් විමුක්ති සුඛය ලෝකයේ උසස් සුඛය බව කිය යුතුය.

සසර සැරිසරන්නා වූ මේ සත්ත්වයනට නැවත නැවත ඉපදීමේ දුක ද ඇත්තේ ය. උපන් පසු දිරීමේ දුක ද ඇත්තේ ය. මැරීමේ දුක ද ඇත්තේ ය. ආහාර පානාදිය සැපයීමේ දුක ද ඇත්තේ ය. සතුරන්ගෙන් ආරක්ෂා වීමේ දුක ද ඇත්තේය. වරින් වර නොයෙක් රෝග හට ගැනීමේ දුක ද ඇත්තේ ය. සොර සතුරු ආදීන් ගෙන් විටින් විට වන බොහෝ දුක් ද ඇත්තේ ය. ස්වභාව ධර්මයෙන් ම වන දුක් ද ඇත්තේ ය. පව්කම් කොට තිරිසන් බවට ප්‍රේත බවට පැමිණෙන්නට වීමේ දුක් ද ඇත්තේ ය. සඤ්ජීව කාලසූත්‍රාදි නරකයන්ට පැමිණෙන්නට වීමේ දුක් ද ඇත්තේ ය. නිවනට නො පැමිණිය හොත් එක් එක් පුද්ගලයකුට අනාගතයෙහි ලබන්නට ඇත්තා වූ දුඃඛස්කන්ධය ඉතා මහත් ය. ප්‍ර‍මාණ කළ නො හෙන තරමට ජාති ජරා මරණාදි දුක් එයට ඇතුළත් ය. නිවනට පැමිණීමෙන් ඒ සියල්ලෙන් ම මිදෙන්නේ ය. නිවන ඒ සියල්ලෙන් ම මිදීම වූ මහා විමුක්ති සුඛය ය.

නිවනට පැමිණෙන පුද්ගලයාට නිවී යන දුඃඛස්කන්ධය අනුව කියත හොත් නිවන ඉතා මහත් බව කිය යුතුය. එහෙත් එය පරම සූක්ෂ්ම දෙයකි. එබැවින් එය සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් වෙන් ව කාමයන්හි ඇලී ගැලී වෙසෙන ජනයා විසින් නො දැකිය හැකිය. එය දැකිය හැකි වන්නේ සම්‍යක් ප්‍ර‍තිපත්තියෙහි පිහිටා, භාවනාවෙහි යෙදී, සිත පිරිසිදු කොට ලෝකෝත්තර ඥානය ලබා ගත් අයට ය. ලෝකෝත්තර ඥානයට මිස ලෞකික ඥානයට එය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් පෙනෙන්නේ නො වේ. සාමාන්‍ය ජනයාට කළ හැක්කේ නිවන් දුටු ආර්‍ය්‍යයන්ගේ කීම් අනුව නිවනය කියා හොඳ දෙයක් ඇති බව අනුමානයෙන් සිතා ගැනීම පමණෙකි.

නිවන ළඟම ඇතියකි. එය වැසී තිබෙන්නේ පඤ්චස්කන්ධයෙනි. නැවත නැවත පඤ්චස්කන්ධයන් ලැබීම නැවතුන හොත් නිවන ලැබුණේ වේ. නැවත නැවත ඉපදීම් වශයෙන් නැවත නැවත පඤ්චස්කන්ධයන් ලැබෙන්නේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා ය.

කලට වැසි නො ලබන ආහාර පාන දුර්ලභ, රෝග බහුල, මැසි මදුරුවන් බහුල, සර්පයන් බහුල, මනා පාලනයක් නැති බැවින් සොර සතුරන් බහුල පෙදෙසක මහ සටනක් කරමින් ඉතා අමාරුවෙන් ජීවත් වූවකුට හොඳ දේශගුණය ඇති, හොඳ වාසස්ථාන ඇති, ආහාර පාන ඇඳුම් පැළඳුම් යාන වාහන සුලභ, ලෙඩදුක් අඩු, සොර සතුරු බිය නැති, යහපත් පෙදෙසකට පැමිණ වාසය කරන්නට ලැබුණ හොත්, ඔහුට පළමු විසූ පෙදෙස හොඳය කියා තුබූ සම්මෝහයත් ඒ පෙදෙස ගැන පැවති ආලයත් දුරු වන්නේ ය. ක්ලේශප්‍ර‍හාණය යි කියනුයේ ඒ දුරු වීමට ය. නැවත නැවත උත්පත්තියට හේතු වන අවිද්‍යාවත් තණ්හාවත් දුරු වීමෙන් පසු ඒ පුද්ගලයා නැවත නූපදින්නේ ය. නිවන වසා ගෙන සිටින පඤ්චස්කන්ධය ඉන් පසු ඔහුට නැති බැවින් ඔහු නිවන් සුවයට හිමියෙක් වේ.

නිර්වාණයේ ප්‍රභේද

හට ගැනීමක් ඇති, බිඳීමක් ඇති, පවත්නා ස්ථාන ඇති, හැඩහුරු කම් ඇති සංස්කාරයන්; එකිනෙක වෙන් වශයෙන් ඇති බැවින් ඒවායේ බොහෝ ප්‍රභේද ඇත්තේ ය. හට ගැනීමක් නැති, බිඳීමක් නැති, පවත්නා තැනක් නැති, හැඩහුරු කමක් නැති, මේ නිවනය කියා දැක්වීමට - සිතා ගැනීමට කිසිම ලකුණක් නැති නිවනෙහි, එබඳු ප්‍රභේද නො තිබිය හැකි ය. අතීතයෙහි විසූ බුදු - පසේ බුදු - රහතුන් විසින් ලැබූ නිවනත්, අනාගතයෙහි ලොව පහළ වන බුදු පසේබුදුවරයන් විසින් බුද්ධශ්‍රාවකයන් විසින් පැමිණෙනු ලබන නිවනත් ශාන්ත ලක්ෂණයෙන් - නිවීම් ස්වභාවයෙන් එක ම ධර්මයෙකි. මෙය කියා දැක්විය හැකි - සිතා ගත හැකි යයි කිසි ලකුණක් නැත්තා වූ ඒ නිර්වාණ ධාතුව, දැක්විය හැක්කේ සිතා ගත හැක්කේ නිවී යන්නා වූ ස්කන්ධයන් අනුව ය. නිවී යන්නා වූ ස්කන්ධ ඒ නිවන දෙකක් කොට දැක්වීමට කරුණු වන බැවින් ඒ කාරණය අනුව, සෝපාදිශේෂ නිර්වාණ ධාතුවය - අනුපදිශේෂ නිර්වාණ ධාතුවය කියා නිර්වාණය දෙයාකාර වන බව දේශනය කොට තිබේ.

උපදි යනු තෘෂ්ණා දෘෂ්ටීන් විසින් මම ය මාගේ යයි අල්ලා ගන්නා ස්කන්ධයන්ට නමෙකි. ලෝකෝත්තර මාර්ග ඥානයෙන් නිවන ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැකීමෙන් කෙලෙස් හා අනාගත ස්කන්ධ නිවී ගියා වූ, වර්තමාන පඤ්චස්කන්ධය පමණක් ඉතිරි ව ඇති තැනැත්තාගේ නිවන, උපදි නම් වූ ස්කන්ධ ශේෂ ව ඇති බැවින් සෝපදිශේෂ නිර්වාණ ධාතු නම් වේ.

සකල ක්ලේශයන් ප්‍ර‍හාණය කොට වර්තමාන පඤ්චස්කන්ධය පමණක් ඇති ව සිටි පුද්ගලයා විසින් පිරිනිවීමෙන් පසු ලබන නිර්‍වාණ ධාතුව ඔහුට උපදි සඞ්ඛ්‍යාත ස්කන්ධ ශේෂ ව නැති බැවින් අනුපදිශේෂ නිර්‍වාණ ධාතු නම් වේ.

සුඤ්ඤතය - අනිමිත්තය - අප්පණිහිතය කියා ආකාර භේදයෙන් නිර්‍වාණය ත්‍රිවිධ වේ.

රාගාදි කෙලෙසුන් ඇති කල්හි නොයෙක් පව්කම් කරන්නට සිදු වීමේ පළිබෝධය ද, පව්කම් කොට අපාගත වන්නට වීමේ පළිබෝධය ද, නුවණැතියන්ට පව්කම් වලින් වැළකී ආරක්ෂා වීමේ පළිබෝධය ද. කෙලෙස් මැඩ පැවැත්වීමට, කෙලෙස් ප්‍ර‍හාණය කිරීමට බොහෝ දුක් ගන්නට වීමේ පළිබෝධය ද ඇත්තේ ය. කෙලෙස් නිරෝධයෙන් ඒ පලිබෝධ සියල්ල ම නැති වන්නේ ය. කෙලෙසුන්ගේ හා ස්කන්ධයන් ගේ නිරෝධය වූ නිවන ඒ සියලු පළිබෝධයන් දුරු කරන - පළිබෝධයන් නැති තැන වන බැවින් සුඤ්ඤත නම් වේ. සුඤ්ඤත යන්නෙහි තේරුම කෙලෙස් නිසා වන පළිබෝධයන් නැති තැන ය යනු යි.

ඉපදීමක් ඇත්තා වූ, පරම්පරා වශයෙන් පැවැත්ම ඇත්තා වූ, බිඳීම ඇත්තා වූ, සංස්කාරයන් කෙරෙහි මේ එකකි, මේ අනිකකි, මෙය හොඳ ය, මෙය නරකය යනාදීන් එකිනෙක වෙන් කර ගැනීමට උපකාර වන ආකාර විශේෂයක් ඇත්තේ ය. එයට “නිමිත්තය” යි කියනු ලැබේ. නිමිති ඇත්තා වූ ඒ සංස්කාරයෝ රාගාදි කෙලෙසුන්ට ද, ජරා මරණාදි අනේකප්‍ර‍කාර දුඃඛයන්ට ද වස්තු වෙති. දුකය කියා යමක් ඇති නම් ඒ සියල්ල ම ඇත්තේ නිමිති සහිත ධර්‍මයන්හි ය.

මේ ලොව්තුරා බුදුවරයන්ගේ නිවනය, මේ පසේබුදුවරයන්ගේ නිවනය, මේ බුද්ධශ්‍රාවකයන්ගේ නිවනය, මේ මිනිසුන්ගේ නිවනය, මේ දෙවියන්ගේ නිවනය, මේ බ්‍ර‍හ්මයන්ගේ නිවනය, මේ අසවල් කල්පයේ බුදුවරුන්ගේ නිවනය යනාදීන් එකිනෙක වෙන් කිරීමට කරුණු වන නිමිත්තක් නිවනෙහි නැත්තේ ය. එය හැම කල්හි ම එක් ධර්‍මයක් වශයෙන් ම පවත්නේ ය. කෙලෙසුන්ට ස්ථාන වන නිමිති නැති බැවින් නිර්‍වාණ ධාතුව අනිමිත්ත නම් වේ.

“පණිහිත” යනු ආශාවට නමෙකි. නැති වීම සංස්කාරයන්ගේ ස්වභාවය ය. කොතෙක් ලබා ගත්තක් ලබන ලබන සංස්කාර නැති වී යන බැවින් සත්ත්වයා හට නැවත නැවත ලබා ගැනීමේ ආශාව ඇති වන්නේ ය. සංස්කාරයෝ නැවත නැවත ලැබීමේ ආශාව ඇති කරන්නෝ ය. ඒ ආශාව සකල දුඃඛයන්ට ම මුල ය. ආශා දුඃඛය ඇති කරන සංස්කාරයන්ගේ නිරෝධ ස්වභාවය වන නිර්‍වාණ ධාතුව දිරීමක් බිඳීමක් නැතිව, සැම කල්හි ම පවත්නා ධර්‍මයක් වන බැවින් නැවත නැවත ලැබීමේ ආශාව ඇති කරන්නක් නො වේ. ඒ ආශාව නිවනෙහි නැත. එබැවින් නිර්‍වාණ ධාතුව අප්පණිහිත නම් වේ.

සුඤ්ඤත - අනිමිත්ත - අප්පණිහිත යන මේවා ඒ ඒ ගුණ නිමිත්ත කොට නිවනට කියන නාමයෝ ය. නිවනට කියන තවත් බොහෝ නම් ඇත්තේ ය. ඒ නාමයන් අතුරෙන් අතිප්‍ර‍සිද්ධ නාමය නිබ්බාන (නිර්‍වාණ) යන්න ය. එහි තේරුම තණ්හාවෙන් බැහැර වූ ධර්‍මය යනු යි. නිවන තණ්හාවට අසුවන්නේ නැත. නිවනෙහි ද තණ්හාව නැත. මේ නිර්‍වාණ විභාගය ය.

මෙතෙකින් චිත්තය - චෛතසිකය - රූපය - නිර්‍වාණය යන පරමාර්ථ ධර්‍ම සතර ම එක්තරා ප්‍ර‍මාණයකින් විස්තර කරන ලද්දේ ය.

මෙතෙකින් රූපය හා නිර්‍වාණය විස්තර කළ

ෂෂ්ඨ පරිච්ඡේදය නිමියේ ය.

7. සප්තම පරිච්ඡේදය

1 වන පාඩම

සිත් එකුන් අනූව ය, චෛතසික දෙපනස ය, රූප අට විස්ස ය, නිවන ය යන මේ පරමාර්ථ ධර්‍ම එක සිය සැත්තෑව ඒ ඒ ආකාර සමූහ වශයෙන් දක්වන බැවින් මේ සප්තම පරිච්ඡේදය සමුච්චය සඞ්ග්‍ර‍හ නම් වේ.

සමුච්චය සඞ්ග්‍ර‍හය: අකුශල සඞ්ග්‍ර‍හය - මිශ්‍ර‍ක සඞ්ග්‍ර‍හය - බෝධිපාක්ෂික සඞ්ග්‍ර‍හය - සර්‍ව සඞ්ග්‍ර‍හය කියා කොටස් සතරකින් යුක්ත ය.

1. අකුශල සංග්‍ර‍හය

ආශ්‍ර‍වය - ඕඝය - යෝගය - ග්‍ර‍න්ථය - උපාදානය - නීවරණය - අනුශය - සංයෝජනය - ක්ලේශය කියා අකුශල සඞ්ග්‍ර‍හය කොටස් නවයකින් යුක්ත වන්නේ ය.

ආශ්‍ර‍ව

කාමාශ්‍ර‍වය - භවාශ්‍ර‍වය - දෘෂ්ට්‍යාශ්‍ර‍වය - අවිද්‍යාශ්‍ර‍වය යි ආශ්‍ර‍ව සතරෙකි.

රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන පඤ්ච කාමයන් ගැන ඇති ආශාව වූ ඖදාරික ලෝභය කාමාශ්‍ර‍ව නම් වේ.

රූපාවචර - අරූපාවචර කුශලයන් ගැන හා ඒවායේ විපාක වශයෙන් ලැබෙන රූපාරූප භවයන් ගැන ද පවත්නා ආශාව භවාශ්‍ර‍ව නම් වේ. කාමාශ්‍ර‍ව භවාශ්‍ර‍ව යන දෙකින් ම ගැනෙන්නේ ලෝභ චෛතසිකය ය.

දෘෂ්ටි සියල්ල ම දෘෂ්ට්‍යාශ්‍ර‍ව නම් වේ.

ධර්‍මයන් ගේ සැබෑ තත්ත්වය වසන මෝහ චෛතසිකය අවිද්‍යාශ්‍ර‍ව නම් වේ.

ධර්‍ම වශයේන ගන්නා කල්හි ආශ්‍ර‍වය යි කියනුයේ ලෝභ - දිට්ඨි - මෝහ යන චෛතසික තුනට ය.

ද්‍ර‍ව්‍යයෙන් යුක්ත කොට සැළක ලා කලක් පල් කළ ජලයට ආසවය යි කියනු ලැබේ. පානය කළවුන් මත් කරවන ස්වභාවය ද ඒ ජලයෙහි ඇත්තේ ය. බොහෝ කල් පල් වූ නිසාත් මත් කරවන නිසාත් ආසවයට සමාන බැවින් ඉහත කී ලෝභාදි ධර්‍මයන්ට “ආසව” යන නම කියනු ලැබේ. ඒ ලෝභාදි ධර්‍ම තුන සංසාරයෙහි දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සත්ත්ව සන්තානයෙහි පල් වී ඇති බැවින් ද, සත්ත්වයන් මත් කරවන බැවින් ද ආසවයට සමාන ය.

තව ද වැගිරෙන දෙය ය, ගලා යන දෙයය යන අර්ථයෙන් ද ඒ ධර්මයන්ට “ආශ්‍ර‍ව” යන නම කියනු ලැබේ. වණයකින් සැරව වැගිරෙන්නාක් මෙන් චක්ෂුරාදි ද්වාරයන්ගෙන් ඒ ලෝභාදි ධර්ම වැගිරේ. ගෝත්‍ර‍භූ චිත්තය තෙක් ඇති ලෞකික ධර්මයන් යට කොට ද, භවාග්‍ර‍ය දක්වා ලෝකය යට කොට ද ඒ ධර්‍ම ගලා යන්නේ ය.

ඕඝ හා යෝග

කාමෝඝය - භවෝඝය - දිට්ඨෝඝය - අවිජ්ජේඝය යි ඕඝ සතරෙකි.

කාම යෝගය-භව යෝගය-දිට්ඨි යෝගය-අවිජ්ජා යෝගය යි යෝග සතරෙකි.

කාමෝඝ - කාමයෝගාදිය ආශ්‍ර‍වයන් අනුව තේරුම් ගත හැකි වනු ඇත. කෙත් - වතු - ගම් යට කොට ගලා යන්නා වූ මහා ජලස්කන්ධය ‘ඕඝ’ නම් වේ. හසුවුනු සත්ත්වයා ගිල්වා දැමීම, ඔහුට ලෙහෙසියෙන් ගැලවී යන්නට නො දීම ඕඝයේ ස්වභාවය ය. ලෝභාදි ධර්ම තුන ද ගලා යන ජලස්කන්ධය මෙන් සත්ත්වයන් සංසාරයෙහි ගිල්වන බැවින් ද, ඒ ධර්ම සත්ත්ව සන්තානයෙහි ඇති තාක් ඔහුට ගැලවී යන්නට නො දෙන බැවින් ද, ජලස්කන්ධයක් වැනි නිසා “ඕඝය” යි කියනු ලැබේ. සසර සයුරෙහි ගිල්වන සත්ත්වයනට සසර සයුරෙන් ගොඩවෙන්නට නො දෙන ධර්ම ඕඝයෝ ය. ඒ ධර්මයෝ ම සත්ත්වයන් සංසාර චක්‍රයෙහි නැවත නැවත යොදවන බැවින් යෝග නම් වෙති. එක ම ධර්මයට මත් කරවීම් ආදි අර්ථවලින් “ආසවය” යි ද, සත්ත්වයන් සසර සයුරෙහි ගිල්වන බැවින් “ඕඝය” යි ද, සංසාර චක්‍රයෙහි යොදවන බැවින් “යෝගය” යි ද කියනු ලැබේ.

ග්‍ර‍න්ථ

අභිජ්ඣාකායගන්ථ - ව්‍යාපාද කායගන්ථ - සීලබ්බත පරාමාස කායගන්ථ - ඉදං සච්චාභිනිවේස කායගන්ථ කියා ග්‍ර‍න්ථ සතරෙකි.

‘අභිජ්ඣා’ කායගන්ථ යනු ලෝභය ය. කාමරාග රූපරාග-අරූපරාග වශයෙන් පවත්නා සකල ලෝභය ම එයට ඇතුළත් වේ. ‘ව්‍යාපාද කායග්‍ර‍න්ථය’ යනු අනේකාකාරයෙන් ඇති වන ද්වේෂය ය. ‘සීලබ්බත පරාමාස කායගන්ථය’ යනු සසර දුකින් මිදීමට කරුණු නො වන ගෝ - ශීල, ගෝ - ව්‍ර‍තාදිය නිවන් මග යයි තදින් ගන්නා මිථ්‍යාදෘෂ්ටිය ය. ‘ඉදං සච්චාභිනිවේස කායගන්ථ’ යනු සත්‍යය මෙය ම ය. අනික් සියල්ල බොරු ය කියා නිත්‍ය ආත්මයක් ඇත ය යනාදීන් වරදවා ගත් දෙයක් තදින් ම ගන්නා දෘෂ්ටිය ය.

සීලබ්බත පරාමාස - ඉදංසච්චාභිනිවේස යන දෙක ම ධර්‍ම වශයෙන් ගන්නා කල්හි එක ම දෘෂ්ටි චෛතසිකය ය. එබැවින් ලෝභය - ද්වේෂය - දෘෂ්ටිය යි ධර්ම වශයෙන් ග්‍ර‍න්ථ තුනක් ම වන්නේ ය. මේ ධර්මයෝ තිදෙන සත්ත්වයා හට සංසාරයෙන් බැහැර විය නො හෙන පරිද්දෙන්, මරණින් මතු භව පරම්පරාව සිඳී නො යන පරිද්දෙන්, වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කෙරෙති. එබැවින් ඒ ධර්මයෝ ග්‍ර‍න්ථ නම් වෙති.

උපාදාන

කාමූපාදානය - දිට්ඨූපාදානය - සීලබ්බතූපාදානය - අත්තවාදූපාදානය යි උපදාන සතරෙකි.

ලෙහෙසියෙන් නො හරනා පරිදි යම් කිසිවක් තදින් අල්ලා ගන්නා ධර්මය උපාදාන නම් වේ. රූපාදි කාම වස්තූන් තදින් ගන්නා වූ ලෝභය ‘කාමූපදාන’ නම් වේ. මෙය සත්‍යය කියා තදින් ගන්නා වූ වැරදි මතය ‘දිට්ඨූපදාන’ නම් වේ. නිවනට මාර්ග නො වන මිථ්‍යා ශීල - මිථ්‍යා ව්‍ර‍තයන් නිවන් මග වශයෙන් වරදවා තදින් ගන්නා ස්වභාවය ‘සීලබ්බතූපාදානය’ ය. රූපාදිය ආත්ම වශයෙන් තදින් ගන්නා ස්වභාවය ‘අත්තවාදූපාදනය’ ය.

කාමූපාදානය යනු ලෝභ චෛතසිකය ය. ඉතිරි උපාදාන තුන ම ධර්ම වශයෙන් එක ම දෘෂ්ටි චෛතසිකය ය. එබැවින් ධර්ම වශයෙන් ගන්නා කල්හි ලෝභය - දෘෂ්ටිය කියා උපාදාන දෙකකි.

නීවරණ

කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය, අවිජ්ජා නීවරණය කියා නීවරණ සයෙකි.

සත්ත්ව සන්තානයෙහි ඇති නොවූ කුශලයන් ඇති නොවන ලෙසත්, ඇති වූ කුශලය නො පවත්නා ලෙසත් ආවරණය කරන, කුශලයට බාධා කරන ධර්මයෝ නීවරණ නම් වෙති.

බලවත් ලෝභය කාමච්ඡන්ද නීවරණය ය. ද්වේෂය ව්‍යාපාද නීවරණය ය. ථීනමිද්ධ නීවරණාදිය ඒ නම් වලින් දැක්වෙන චෛතසිකයෝ ය. අවිජ්ජා නීවරණය මෝහ චෛතසිකය ය.

ලෝභය - ද්වේෂය - ථීනය - මිද්ධය - උද්ධච්චය - කුක්කුච්චය - විචිකිච්ඡාවය - මෝහය කියා චෛතසික ධර්ම වශයෙන් නීවරණ අටක් වේ.

ථීන - මිද්ධ චෛතසික දෙක හා උද්ධච්ච - කුක්කුච්ච චෛතසික දෙකත් එක් එක් නීවරණය වශයෙන් දේශනය කර තිබෙන්නේ, කෘත්‍ය වශයෙන් හා උත්පත්ති හේතු වශයෙන් ද, විරුද්ධ ධර්මයන්ගේ වශයෙන් ද ඇති සමාන කම් නිසා ය. ථීන - මිද්ධ චෛතසික දෙකින් ම සිදු කරන්නේ සිත හැකිළවීම වූ එක ම කෘත්‍යය ය. උද්ධච්ච - කුක්කුච්ච චෛතසික දෙකින් ම සිදු කරන්නේ සිත චඤ්චල කිරීම ය. ථීන - මිද්ධ දෙකට ම හේතු වන්නේ අලස බව හා කය නො සොල්වන බව ය. උද්ධච්ච - කුක්කුච්ච දෙකට හේතු වන්නේ ඥාති ව්‍යසනාදිය ගැන කල්පනා කිරීම ය. ථීන - මිද්ධ දෙක වීර්‍ය්‍යයට විරුද්ධ ය. උද්ධච්ච - කුක්කුච්ච දෙක ශමථයට විරුද්ධය. මෙසේ ඇති සමානකම් නිසා ථීන - මිද්ධ දෙක එක් නීවරණයක් වශයෙන් ද, උද්ධච්ච - කුක්කුච්ච දෙක එක් නීවරණයක් වශයෙන් ද දේශනය කර ඇත්තේ ය.

අනුශය

2 වන පාඩම

කාමරාගානුසය - භවරාගානුසය - පටිඝානුසය - මානානුසය - දිට්ඨානුසය - විචිකිච්ඡානුසය - අවිජ්ජානුසය කියා අනුශයධර්ම සතෙකි.

කාරණයක් පැමිණි කල්හි නැඟී ආ හැකි පරිදි සත්ත්ව සන්තානයෙහි යටපත් වී පවත්නා කාමරාගාදීහු අනුශය නම් වෙති. වෙන් වෙන් වූ පරමාර්ථ ධර්ම වශයෙන් ඉපද නැති බැවින් ඒවා ඇති බව අප්‍ර‍කට ය. ඇති බව ප්‍ර‍කට වන්නේ කරුණක් ඇති වූ කල්හි ය.

අනුශය අවස්ථාවය - පරිව්‍යුස්ථාන අවස්ථාවය - ව්‍යතික්‍ර‍මණ අවස්ථාවය” යි කාමාරාගාදීන්ගේ අවස්ථා තුනක් ඇත්තේ ය.

ලෝකෝත්තර මාර්ග ඥානය උපදවා එහි බලයෙන් මතු නූපදනා පරිදි කාමරාගාදිය ප්‍ර‍හාණය නො කළ පුද්ගලයන්ගේ සන්තානයෙහි කාමරාගාදිය ප්‍ර‍කට ව නැත ද, ශෝභන ස්ත්‍රී පුරුෂයන් මුණ ගැසීම් ආදියෙන් මතු වී ආ හැකි සැටියට ඒවා යටපත් වී නිදා ඉන්නාක් මෙන් පවත්නේ ය. කාමයන් ගෙන් සම්පූර්ණයෙන් ඈත් ව, වන ගත වී ධ්‍යාන උපදවා ගෙන සිටින මහ තවුසන්ට ද, සමහර අරමුණු මුණ ගැසීමෙන් කාම රාගය නැඟී ඒමෙන් ධ්‍යානයෙන් පිරිහෙන්නේ, ඒවා ඇති බව නො දැනෙන සැටියට සන්තානයෙහි යටපත් වී ඇති බැවිනි. කරුණක් ඇති වූ කල්හි නැඟ ආ හැකි සැටියට කාමරාගාදීන්ගේ යටපත් වී පවත්නා අවස්ථාව ‘අනුශය’ අවස්ථාව ය.

අනුශය අවස්ථාවෙහි පවත්නා කාමරාගාදිය ශෝභන ස්ත්‍රී - පුරුෂ රූප දර්ශනාදි කරුණක් ඇති වූ කල්හි මතු වන්නේ ය. නැඟී එන්නේ ය. නැඟී ඒම ය යි කියනුයේ ජවන චිත්තය හා එක් ව උත්පාදාදි ක්ෂණත්‍ර‍යට පැමිණීම ය. එසේ ජවන චිත්තය හා එක් ව උත්පාදාදි ක්ෂණත්‍ර‍යට පැමිණ සිටීම කාමරාගාදීන්ගේ ‘පරිව්‍යුස්ථාන’ අවස්ථාව ය.

සමහර විට නැඟ ආවා වූ කාමරාගාදිය එපමණින් ම සන්සිඳී යන්නේය. සමහර විටක ඒවා එපමණින් සන්සිඳී නො ගොස් කාය වාග් ද්වාරයන්ට පැමිණ ක්‍රියාවෙහි යෙදෙන්නට වන්නේ ය. නැඟී සිටියා වූ කාමරාගාදිය අනුව වරද කිරීම, කාමරාගාදියේ ක්‍රියාකාරීභාවයට පැමිණීම ය. කාමරාගාදීන් ගේ ක්‍රියා කරන අවස්ථාව ‘ව්‍යතික්‍ර‍මණ’ අවස්ථාව ය. ලෝභාදීන්ගේ මේ අවස්ථා තුනෙන් පළමු වන අනුශය අවස්ථාවේ සිටිනා ලෝභාදීහු අනුශය නම් වෙති. ඔවුහු ඒකාන්ත පරමාර්ථ ධර්මයෝ නො වෙති. පරමාර්ථ ධර්මයන් ගේ එක්තරා අවස්ථාවක් වන බැවින් පරමාර්ථ නො වන්නා හු ද නො වෙති.

කරුණක් ඇති වන විටෙක ඉපදිය හැකි පරිදි යටපත් වී පවත්නා කාම තණ්හාව කාම රාගානුසය නමි. එබඳු වූ රූපාරූප තණ්හාව භවරාානුසය නමි. ද්වේෂය පටිඝානුසය නමි. මාන-දිට්ඨි-විචිකිච්ඡා චෛතසික මානානුසය දිට්ඨානුසය විචිකිච්ඡානුසය නම් වේ. මෝහය අවිජ්ජානුසය නම් වේ. මෙසේ අනුශය සතක් වුව ද කාමරාගානුසය භවරාගානුසය යන දෙක එක ම ලෝභ චෛතසිකය වන බැවින් චෛතසික ධර්ම වශයෙන් ඇත්තේ අනුශය සයෙකි.

සංයෝජන

කාමරාග සංයෝජනය - රූපරාග සංයෝජනය - අරූපරාග සංයෝජනය - පටිඝ සංයෝජනය - මාන සංයෝජනය - දිට්ඨි සංයෝජනය - සීලබ්බතපරාමාස සංයෝජනය - විචිකිච්ඡා සංයෝජනය - උද්ධච්ච සංයෝජනය - අවිජ්ජා සංයෝජනය කියා සෞත්‍රාන්ත්‍රික ක්‍ර‍මයෙන් සංයෝජන දශයෙකි.

කාමරාග සංයෝජනය - භවරාග සංයෝජනය - පටිඝ සංයෝජනය - මාන සංයෝජනය - දිට්ඨි සංයෝජනය - සීලබ්බතපරාමාස සංයෝජනය - විචිකිච්ඡා සංයෝජනය - ඉස්සා සංයෝජනය - මච්ඡරිය සංයෝජනය - අවිජ්ජා සංයෝජනය කියා අභිධර්ම ක්‍ර‍මයෙන් සංයෝජන දශයෙකි.

සසර දුකින් මිදෙන්නට නො දී සත්ත්වයන් සංසාරයෙහි බැඳ තබන රැහැන් වන බැවින් මේ කාම රාගාදි ධර්මයෝ සංයෝජන නම් වෙති. ආශ්‍ර‍වාදියෙහි භව නාමයෙන් දැක්වූ රූපාරූප තණ්හා දෙක මෙහි රූපරාග සංයෝජනය - අරූපරාග සංයෝජනය කියා දෙකක් කොට දක්වා තිබේ. කාමරාග සංයෝජන - රූපරාග සංයෝජන - අරූපරාග සංයෝජන යන මේ තුන ම ධර්ම වශයෙන් ගන්නා කල්හි එක ම ලෝභ චෛතසිකය ය. දිට්ඨි සංයෝජන - සීලබ්බතපරාමාස සංයෝජන යන දෙකින් ගැනෙන්නේ ද එක ම දෘෂ්ටි චෛතසිකය ය. එබැවින් චෛතසික ධර්ම වශයෙන් ඇත්තේ සංයෝජන නවයෙකි. ලෝභය - ද්වේෂය - මෝහය - දෘෂ්ටිය - මානය - විචිකිත්සාව - ඖද්ධත්‍යය - ඊර්ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය යන මේවා සංයෝජන නවය ය.

ක්ලේශ

ලෝභය - ද්වේෂය - මෝහය - මානය - දෘෂ්ටිය - විචිකිත්සාව - ථීනය - උද්ධච්චය - අහිරිකය - අනොත්තප්පය කියා ක්ලේශ දශයෙකි.

සත්ත්ව සන්තානය දවන තවන ධර්මයෝ ය යන අර්ථයෙන් ද, කිලිටි කරන පහත් බවට පමුණුවන ධර්මයෝය යන අර්ථයෙන් ද ලෝභාදි දශය ක්ලේශ නම් වේ. මේ ධර්මයන්ගේ සැටි චෛතසික පරිච්ඡේදයෙහි දැක්වූ පරිද්දෙන් දත යුතුය. මේ ධර්මයන් ගෙන් ද දවන තවන ස්වභාවය අධික ව ඇත්තේ ලෝභ - ද්වේෂ දෙක්හි ය. කිලිටි කරන ස්වභාවය සිය්ලලෙහි ම වෙනසක් නැති ව ඇති බව කිය යුතු ය.

කෙලෙස් එක් දහස් පන්සියය

කෙලෙස් එක් දහස් පන්සියය ගණන් ගන්නා ක්‍ර‍මය මෙසේ ය. සිත් සියල්ල ආරම්මණ විජානන ලක්ෂණයෙන් සමාන බැවින් එක් ධර්මයක් වශයෙන් ගණන් ගනු ලැබේ. සිතය - චෛතසික දෙපනසය යන මේ ධර්ම රාශියට නාම ධර්ම තෙපනසය යි කියනු ලැබේ. නාම ධර්ම තෙපනසය, නිෂ්පන්නරූප අටළොසය, ලක්ෂණ රූප සතරය යන මේ ධර්ම පන් සැත්තෑව ආධ්‍යාත්මික බාහ්‍ය වශයෙන් ද්විගුණ කළ කල්හි එකසිය පනසක් වේ. කෙලෙස් ඇති වන්නේ ඒ ධර්ම එකසිය පනස අරමුණු කොට ය. එබැවින් ඒ ධර්ම එකසිය පනස කෙලෙස් දශයෙන් වැඩි කරනු ලැබේ. එසේ කළ කල්හි එක් දහස් පන් සියයක් වේ. එයට කෙලෙස් එක් දහස් පන්සියය යි කියනු ලැබේ.

2. මිශ්‍ර‍ක සංග්‍ර‍හය

3 වන පාඩම

හේතුය - ධ්‍යානාඞ්ගය - මාර්ගාඞ්ගය - ඉන්ද්‍රියය - බලය - අධිපතිය - ආහාරය යි මිශ්‍ර‍ක සඞ්ග්‍ර‍හය ධර්ම කොටස් සතකින් යුක්ත ය. මෙයට මිශ්‍ර‍ක සඞ්ග්‍ර‍හය යි කියනුයේ මෙහි දැක්වෙන ධර්ම කොට්ඨාසවල කුශලාකුශල දෙවර්ගය ම ඇති බැවිනි.

හේතු

ලෝභය - දෝසය - මෝහය - අලෝභය - අදෝසය - අමෝහය කියා හේතු සයෙකි. අමෝහ යනු ප්‍ර‍ඥා චෛතසිකය ය. හේතු ගැන තෘතීය පරිච්ඡේදයේ හේතු සඞ්ග්‍ර‍හයෙහි කියා ඇත.

ධ්‍යානාඞ්ග

විතක්කය - විචාරය - පීතිය - ඒකග්ගතාවය - සෝමනස්සය - දෝමනස්සය - උපෙක්ඛාවය කියා ධ්‍යානාඞ්ග සතෙකි.

සිත අරමුණට යොමු වන්නේ, අරමුණ කරා යන්නේ, අරමුණෙහි ගමන් කරන්නේ ධ්‍යානාඞ්ගයන්ගේ බලයෙනි. ධ්‍යානාඞ්ග වුවමනා නැත්තේ පඤ්චවිඤ්ඤාණයන්ට පමණෙකි. ඒ සිත්වලට ධ්‍යානාඞ්ග වුවමනා නැත්තේ ප්‍ර‍සාදයෙහි ගැටී ඇති අරමුණ ගනිමින් එහි ම උපදින නිසා ය. ද්විපඤ්ච විඥානය හැර සියලු ම, සිත්වල ධ්‍යානාඞ්ග ලැබෙන්නේ ය. සෝමනස්ස - දෝමනස්ස - උපෙක්ඛා යන මේ තුනෙන් ම ගැනෙන්නේ එක ම වේදනා චෛතසිකය ය. එබැවින් චෛතසික ධර්ම වශයෙන් ඇත්තේ විතක්කය - විචාරය - පීතිය - ඒකග්ගතාවය - වේදනාවය කියා ධ්‍යානාඞ්ග පසෙකි. දෝමනස්සය අකුසල ධ්‍යානාඞ්ගයෙකි. අනික්වා කුශලාකුශල දෙපක්ෂයට ම සාධාරණ ය.

මාර්ගාඞ්ග

සම්මාදිට්ඨි සම්මාසංකල්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්ප මිච්ඡාවායාම මිච්ඡාසමාධි කියා මාර්ගාඞ්ග දොළොසෙකි.

මෙහි සම්මා දිට්ඨි යනු ප්‍ර‍ඥා චෛතසිකය ය. සම්මා සඞ්කප්ප යනු විතර්ක චෛතසිකය ය. සම්මා වාචාදි තුන විරති චෛතසිකයෝ ය. සම්මා වායාම යනු වීර්‍ය්‍ය චෛතසිකය ය. සම්මා සති යනු සති චෛතසිකය ය. සම්මා සමාධි යනු ඒකග්ගතා චෛතසිකය ය. මිච්ඡාදිට්ඨි යනු අකුශල දිට්ඨි චෛතසිකය ය. මිච්ඡාසංකප්ප යනු අකුශල චිත්තයන්හි යෙදෙන විතර්ක චෛතසිකය ය. මිච්ඡා වායාම යනු අකුසල් සිත්වල යෙදෙන වීර්‍ය්‍ය චෛතසිකය ය. මිච්ඡා සමාධි යනු විචිකිච්ඡා සහගත සිත හැර ඉතිරි අකුශල චිත්තයන්හි ඒකග්ගතා චෛතසිකය ය. විචිකිච්ඡා සහගත සිත්හි ඒකග්ගතාව ඉන්ද්‍රිය - බල භාවයට ද නො පැමිණෙන බව මතක තබා ගත යුතු ය.

මෙහි විතක්ක - විරිය - ඒකග්ගතා යන චෛතසික තුන දෙතැන දෙතැන යෙදී ඇති බැවින් ධර්ම වශයෙන් ලැබෙන්නේ මාර්ගාඞ්ග නවයෙකි. ප්‍ර‍ඥා - විතර්ක - සම්මා වාචා - සම්මාකම්මන්ත - සම්මා ආජීව - වීර්‍ය්‍ය - සති - ඒකග්ගතා - දිට්ඨි යනු මාර්ගාඞ්ග වන චෛතසික නවය ය.

සම්මා දිට්ඨි ආදි මේ ධර්මයෝ සමූහ සමූහ වී සිත දුර්ගතියට අභිමුඛ කොට අකුශල විෂයයෙහි ද, සුගතියට හා නිවනට අභිමුඛ කොට කුශල ක්‍රියා විෂයයෙහි ද ගමන් කරවති. දුර්ගති සුගති නිර්වාණයන්ට පමුණුවන මාර්ගයන්ගේ අඞ්ග වීමෙන් සම්මා දිට්ඨි ආදිය මාර්ගාඞ්ග නම් වෙති. මෙහි මාර්ග යයි කියනුයේ උපායට ය.

ප්‍රාණඝාත කර්මයෙහි විතක්ක - විචාර - දෝමනස්ස - ඒකග්ගතා යන චතුරඞ්ගික ධ්‍යානය ද, මිච්ඡාසඞ්කප්ප - මිච්ඡාවායාම - මිච්ඡාසමාධි යන අඞ්ග තුනෙන් යුක්ත වන මාර්ගය ද ලැබේ. මෙසේ සකල කුශලාකුශලයන් විෂයයෙහි ධ්‍යාන හා මාර්ග ලැබෙන සැටි ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් අනුව තේරුම් ගත යුතු ය.

ඉන්ද්‍රිය

4 වන පාඩම

චක්ඛුන්ද්‍රිය සෝතින්ද්‍රිය ඝානින්ද්‍රිය ජිව්හින්ද්‍රිය කායින්ද්‍රිය ඉත්ථින්ද්‍රිය පුරිසින්ද්‍රිය ජීවිතින්ද්‍රිය මනින්ද්‍රිය සුඛින්ද්‍රිය දුක්ඛින්ද්‍රිය සෝමනස්සින්ද්‍රිය දෝමනස්සින්ද්‍රිය උපෙක්ඛින්ද්‍රිය සද්ධින්ද්‍රිය විරියින්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය අඤ්ඤින්ද්‍රිය අඤ්ඤාතාවින්ද්‍රිය කියා ඉන්ද්‍රිය දෙවිස්සෙකි.

තමා හා සම්බන්ධ ධර්මයන් කෙරෙහි අධිපතිකම පවත්වන ධර්මයෝ ඉන්ද්‍රිය නම් වෙති. අධිපතිකම පැවැත්වීමය යනු තමාට අනුකූල කරවා ගැනීම ය. කියන ලද චක්ෂුරාදි ධර්මයෝ තමා හා සම්බන්ධ ධර්මයන් කෙරෙහි අධිපති කම් කරන බැවින් “ඉන්ද්‍රිය” නම් වෙති.

චක්ඛුන්ද්‍රිය යනු චක්ෂුඃ ප්‍ර‍සාද රූප ය. එය චක්ෂුර් විඥානයට අධිපති ය. චක්ෂුර් විඥානයට ඇතිවිය හැක්කේ චක්ෂුඃ ප්‍ර‍සාදය අනුවය. චක්ෂුඃ ප්‍ර‍සාදය බොහෝ දීප්තිමත් වන කල්හි එයට අනුව රූපය හොඳින් දක්නා චක්ෂුර් විඥානයක් ඇති වේ. චක්ෂුඃ ප්‍ර‍සාදයේ දීප්තිය අඩු වත හොත් එයට අනුව අරමුණ හොඳින් නො දක්නා චක්ෂුර් විඥානයක් ඇති වේ. ඇසේ දෝෂ ඇති කල්හි ඇති සැටියට නො පෙනී වස්තූන් කුඩා වී හෝ මහත් වී හෝ පැහැය වෙනස් වී හෝ පෙනෙන්නේ චක්ෂුර්විඥානය චක්ෂුඃ ප්‍ර‍සාදයට අනුකූලව ඇති වන නිසා ය. චක්ෂුර් විඥානයට චක්ෂුඃ ප්‍ර‍සාදයේ ස්වභාවය ඉක්මවා එයට අනුකූල නො වී ඇති විය නො හැකි ය. චක්ෂුර් විඥානය තමාට අනුකූල කරවන නිසා චක්ෂුඃ ප්‍ර‍සාදය එක් ඉන්ද්‍රියයකි.

සෝතින්ද්‍රිය යනු ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය ය.

ඝානින්ද්‍රිය යනු ඝ්‍රාණ ප්‍ර‍සාදය ය.

ජිව්හින්ද්‍රිය යනු ජිහ්වා ප්‍ර‍සාදය ය.

කායින්ද්‍රිය යනු කාය ප්‍ර‍සාදය ය.

මේ ඉන්ද්‍රියයෝ සතර දෙන ද පිළිවෙළින් සෝත - ඝාන - ජිව්හා - කාය විඤ්ඤාණයන් කෙරෙහි අධිපති කම් කෙරෙති.

ඉත්ථින්ද්‍රිය යනු ස්ත්‍රීභාව රූපය ය.

පුරිසින්ද්‍රිය යනු පුරුෂ භාව රූපය ය.

භාව රූප ස්ත්‍රී ආකාරය හා පුරුෂාකාරය ගැන්වීම් වශයෙන් සම්පූර්ණ රූපයට අධිපතිකම කෙරේ. ස්ත්‍රී පුරුෂය්නගේ අදහස්වල ද සිතිවිලිවල ද වෙනස් කමක් තිබේ. එයට හේතුවත් ස්ත්‍රී පුරුෂ ස්වභාව දෙක ම ය. එබැවින් සාමාන්‍යයෙන් පඤ්චස්කන්ධය කෙරෙහි ම භාව රූපයන්ගේ අධිපතිකම ඇති බව කිය යුතු ය.

ජීවිතින්ද්‍රිය, රූප - අරූප වශයෙන් දෙවැදෑරුම් වේ. ජීවිතින්ද්‍රිය රූපය, රූප ජීවිතින්ද්‍රිය ය. ජීවිතින්ද්‍රිය චෛතසික ය, අරූප ජීවිතින්ද්‍රිය ය. ජීවිතින්ද්‍රිය රූපය කර්මජ රූපයන්ට ද, ජීවිතින්ද්‍රිය චෛතසිකය චිත්ත චෛතසිකයන්ට ද අධිපති බව කෙරේ. ඒ අධිපති බව කිරීම පරම්පරාව චිර කාලයක් පැවැත්වීම සම්බන්ධයෙනි.

මනින්ද්‍රිය යනු සිත ය. ආරම්මණ විජානන ය සම්බන්ධයෙන් තමා හා එක් ව උපදනා ධර්මයන් කෙරෙහි සිත අධිපති කම් කරනු ලැබේ.

සුඛින්ද්‍රිය - දුක්ඛින්ද්‍රිය - සෝමනස්සින්ද්‍රිය - දෝමනස්සින්ද්‍රිය - උපෙක්ඛින්ද්‍රිය යන මේ පස ධර්‍ම වශයෙන් එක ම වේදනා චෛතසිකය ය. එක ම වේදනා චෛතසිකය සුඛින්ද්‍රියාදි වශයෙන් ප්‍රභේදයට පැමිණෙන්නේ ආරම්මණ රසය විඳීමේ ආකාරයෙනි. සුඛ - දෝමනස්ස වේදනා දෙක ඉෂ්ටාකාරයෙන් ආරම්මණ රසය විඳී. දුක්ඛ දෝමනස්ස වේදනා දෙක අනිෂ්ටාකාරයෙන් ආරම්මණ රසය විඳී. උපේක්ෂා වේදනා මධයස්ථාකාරයෙන් ආරම්මණ රසය විඳී. සුඛ වේදනාදීහු ඒ ඒ ආකාරයෙන් ආරම්මණ රසය විඳීමෙහි සම්ප්‍ර‍යුක්ත ධර්මයන්ට අධිපති කම පවත්වති. ‘සම්ප්‍ර‍යුක්ත ධර්මයෝය’ යි කීයේ ඒ ඒ වේදනා හා බැඳී උපදනා චිත්ත චෛතසිකයන්ට ය.

සද්ධින්ද්‍රිය යනු ශ්‍ර‍ද්ධා චෛතසිකය ය.

විරියින්ද්‍රිය යනු වීර්‍ය්‍ය චෛතසිකය ය.

සතින්ද්‍රිය යනු ස්මෘති චෛතසිකය ය.

සමාධින්ද්‍රිය යනු ඒකග්ගතා චෛතසිකය ය.

(විචිකිච්ඡා සහගත සිතේ ඒකාග්ග්‍ර‍තාව හැර ය.)

පඤ්ඤින්ද්‍රිය යනු ලෞකික සිත්වල ප්‍ර‍ඥාව ය.

මේ ධර්ම පසෙන් ‘ශ්‍ර‍ද්ධාව’ බුද්ධාදි වස්තූන්හි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට අධිපති වේ. ‘වීර්‍ය්‍යය’ ක්‍රියාවෙහි නො පසු බැසීම සම්බන්ධයෙන් ද, ‘ස්මෘතිය’ කළ යුක්ත ඉක්ම යා නො දීම සම්බන්ධයෙන් ද, ‘සමාධිය’ අරමුණෙහි මනාකොට පිහිටීම සම්බන්ධයෙන් ද, ‘ප්‍ර‍ඥාව’ අරමුණේ සැටි දැන ගැනීම සම්බන්ධයෙන් ද සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට අධිපති කම් කරන්නේ ය.

‘අනඤ්ඤාතඤ්ඤාස්සාමිතින්ද්‍රිය’ යනු සෝවාන් මාර්ග චිත්තයේ ප්‍ර‍ඥාව ය. ‘අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය’ යන ව-චනයේ තේරුම, ‘නොදන්නා ලද්ද දැනගන්නට ඕනෑය කියා උත්සාහ කරන්නහුගේ ඉන්ද්‍රිය’ ය යනුයි. පෙර කිසි කලෙක නො දත් චතුස්සත්‍ය ධර්මය හෝ නිවන දැන ගනිමිය යන උත්සාහයෙන් විදර්ශනා වඩන්නහුට ඒ උත්සාහය නිසා ඇති වන ඥානය වන බැවින් ප්‍ර‍ථම මාර්ග ඥානය අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය නම් වේ.

‘අඤ්ඤින්ද්‍රිය’ යනු සෝවාන් ඵල චිත්තයේ පටන් අර්හත් මාර්ග චිත්තය දක්වා ඇති ලෝකෝත්තර සිත් සයෙහි ප්‍ර‍ඥාව ය. අඤ්ඤින්ද්‍රිය යන වචනයේ තේරුම ‘දැන ගන්නා ඉන්ද්‍රිය’ යනු යි. සෝවාන් මාර්ගඥානයෙන් පෙර නො දන්නා ලද්ද දැන ගත්තේ වී නමුත් ක්ලේශ ප්‍ර‍හාණ කෘත්‍යය නො නිමි බැවින් මේ ඥාන සයෙන් වරක් දැන ගන්නා ලද්ද ම නැවත නැවත බලනු ලැබේ.

‘අඤ්ඤාතාවින්ද්‍රිය’ යනු අර්හත්ඵල චිත්තයේ ප්‍ර‍ඥාව ය. අඤ්ඤාතාවින්ද්‍රිය යන්නෙහි තේරුම ‘දත යුත්ත දැන අවසන් කළ තැනැත්තාගේ ඉන්ද්‍රිය’ යන්න යි.

මෙසේ ඉන්ද්‍රිය දෙවිස්සක් වතුදු ධර්ම වශයෙන් ගන්නා කල්හි වේදනා ඉන්ද්‍රිය පස එක ම වේදනා චෛතසිකය වන බැවින්ද, පඤ්ඤින්ද්‍රියාදි අවසාන ඉන්ද්‍රිය සතර එක ම ප්‍ර‍ඥා චෛතසිකය වන බැවින් ද, එකක් වූ ජීවිතින්ද්‍රිය රූපාරූප වශයෙන් ධර්ම දෙකක් වන බැවින් ද ධර්ම වශයෙන් ඉන්ද්‍රිය ඇත්තේ සොළොසෙකි.

ප්‍ර‍සාද රූප පස ය, භාව රූප දෙක ය, ජීවිත රූපය ය, ජීවිතින්ද්‍රිය චෛතසිකය ය, චිත්තය ය, වේදනාව ය, සද්ධා - විරිය - සති - ඒකග්ගතා - පඤ්ඤා යන චෛතසික පස ය යන මේ ධර්මයෝ සොළොස් දෙන ඉන්ද්‍රිය ධර්මයෝ ය.

ඉන්ද්‍රිය දැන ගැනීමේ ප්‍රයෝජනය

පරමාර්ථ ධර්මයන් නො හඳුනන, ඒවායේ බලය ගැන දැනීම නැති අය ඉන්ද්‍රියයන්ගෙන් කෙරෙන වැඩ “අභ්‍යන්තරයෙහි පවත්නා ආත්මයකින් කෙරෙන වැඩය” යි වරදවා තේරුම් ගනිති. “ඉන්ද්‍රියයන් ම හෝ ආත්මය” යි වරදවා සිතා ගනිති. ඉන්ද්‍රිය ධර්ම තේරුම් ගැනීම, ලෝකයා විසින් ඇති සැටියට සලකන ආත්මය නැති බව තේරුම් ගැනීමට උපකාර වේ. ආත්මයක් ඇතය යි මුළා වී සිටින ජනකාය ඉන් මිදවීම පිණිස තථාගතයන් වහන්සේ විසින් මේ ඉන්ද්‍රිය දෙවිස්ස වදාරා තිබේ.

බල

5 වන පාඩම

සද්ධාබලය විරියබලය සතිබලය සමාධිබලය පඤ්ඤාබලය හිරිබලය ඔත්තප්පබලය අහිරිකබලය අනොත්තප්පබලය කියා බල ධර්ම නවයෙකි.

විරුද්ධ ධර්මයන් මර්දනය කරන බැවින් ද, විරුද්ධ ධර්මයන් විසින් නො සෙලවිය හැකි බැවින් ද ශ්‍ර‍ද්ධාදීහු බල නම් වෙති. දෘෂ්ටි - විචිකිත්සාදීහු ශ්‍ර‍ද්ධාවට විරුද්ධයෝ ය. ඒ ධර්මයන් විසින් සෙලවිය නො හෙන බැවින් ශ්‍ර‍ද්ධාව බලයෙකි. අලස බවින් කම්පා කළ නොහෙන බැවින් වීර්‍ය්‍යය බලයෙකි. අකුශල ධර්මයන් විසින් නො සෙලවිය හැකි බැවින් සතිය බලයෙකි. උද්ධච්චයෙන් නොසෙලවිය හැකි බැවින් සමාධිය බලයෙකි. සමාධිය යනු ඒකග්ගතාව ය. මෝහයෙන් නොසෙලවිය හැකි බැවින් ප්‍ර‍ඥාව බලයෙකි. අහිරිකයෙන් කම්පා කළ නො හෙන බැවින් හිරිය බලයෙකි. අනොත්තප්පයෙන් කම්පා කළ නො හෙන බැවින් ඔත්තප්පය බලයෙකි. හිරියෙන් කම්පා කළ නො හෙන බැවින් අහිරිකය බලයෙකි. ඔත්තප්පයෙන් කම්පා කළ නො හෙන බැවින් අනොත්තප්පය බලයෙකි. වීර්‍ය්‍ය චෛතසිකය නො යෙදෙන සිත්වල බල ධර්ම නො ලැබේ.

අධිපති

ඡන්දාධිපතිය චිත්තාධිපතිය විරියාධිපතිය වීමංසාධිපතිය කියා අධිපති ධර්ම සතරෙකි.

අන්‍යයන් තමන්ට අනුකූල කරවා ගන්නෝ, අන්‍යයන් තමන්ගේ කැමැත්තේ සැටියට හසුරුවන්නෝ අධිපතීහු ය. තමන් හා සම්ප්‍ර‍යුක්ත ධර්මයන් තමාට අනුකූල කර ගන්නා ධර්මයන්ට ද අධිපතිය යි කියනු ලැබේ. ඡන්දාදීහු තමන් හා සම්ප්‍ර‍යුක්ත ධර්මයන් තමන්ට අනුකූල කරවන්නෝ ය. එබැවින් ඒ ධර්මයෝ අධිපතීහු නම් වෙති.

ඡන්දාධිපතිය යනු ද්විහේතුක ත්‍රිහේතුක ජවනයන්හි යෙදෙන ඡන්ද චෛතසිකය ය.

චිත්තාධිපතිය යනු ද්විහේතුක ත්‍රිහේතුක ජවන චිත්තය ය.

විරියාධිපතිය යනු ද්විහේතුක ත්‍රිහේතුක ජවනයන්හි යෙදෙන වීර්‍ය්‍ය චෛතසිකය ය.

වීමංසාධිපතිය යනු ප්‍ර‍ඥා චෛතසිකය ය. ඒක හේතුක අහේතුක ජවන චිත්තයන් හා ඒවායේ යෙදෙන වීර්‍ය්‍යයත් අධිපති භාවයට නො පැමිණේ. ඡන්ද-ප්‍ර‍ඥා චෛතසික දෙක අහේතුක ඒකහේතුක ජවනයන්හි යෙදෙන්නේ ද නැත.

ඡන්ද-චිත්ත-විරිය-වීමංස යන මේ සතර ම අධිපති ධර්ම වතුදු එක වරකදී අධිපති වන්නේ එයින් එක් ධර්මයක් පමණෙකි. සමහර සිතෙක ඡන්ද-විරිය-වීමංස යන තුන ම යෙදේ. එහෙත් ඒ අවස්ථාවේදී චිත්තය අධිපති වෙතොත්, චෛතසික තුනෙන් එකකුදු අධිපති නො වේ. යම් කිසි අවස්ථාවක ඡන්දය අධිපති වේ නම්, ඒ අවස්ථාවේ චිත්ත-විරිය-වීමංසයෝ අධිපති නො වෙති. විරිය - වීමංසයන් අධිපති වන කල්හි ද එසේ ම ය.

ඉන්ද්‍රිය-අධිපති දෙපක්ෂයේ වෙනස ද තේරුම් ගත යුතු ය. ඉන්ද්‍රියයෝ ද අන්‍ය ධර්මයන් තමන්ට අනුකූල කරගන්නෝ ය. අධිපතීහු ද අන්‍ය ධර්මයන් තමන්ට අනුකූල කරගන්නෝ ය. ඒ දෙපක්ෂයෙන් ඉන්ද්‍රිය ධර්මයන් අධිපති කම් කරන්නේ තමන් විසින් සිදු කරන කෘත්‍ය විෂයෙහි පමණෙකි. එසේ කරන්නේ ද අධිපති ධර්මයට අනුකූල වෙමින් ම ය. එබැවින් ඉන්ද්‍රියයෝ යටත් රජවරුන් වැනි ය. අධිපතීහු අධිරාජයන් වැනි ය.

ඡන්දාධිපතිය යනු යම් කිසිවක් සිදු කිරීමේ බලවත් ඕනෑකම ය. ඕනෑකම ඇති නම්, නොකළ හැකි දෙයක් නැත කියා, ඡන්දය පෙරදැරි කරගත් තැනැත්තා හට ඕනෑ කරන දෙය සිදු කිරීම් වශයෙන් ඔහුගේ අදහස අනුව ඡන්දය සහිත වූ කුසල් වූ හෝ අකුසල් වූ හෝ බොහෝ සිත් ඇති වන්නේ ය. එසේ ඇතිවන සිත් හා ඒවායේ යෙදෙන චෛතසික ද ඡන්දය අධිපති කොට ඇතිවන ධර්මයෝ ය. චිත්තාදිය අධිපති වන සැටි ද මේ නයින් සලකා ගත යුතු ය.

ආහාර

කබලිංකාර ආහාරය, ඵස්ස ආහාරය, මනෝසඤ්චේතනා ආහාරය, විඤ්ඤාණ ආහාරය යි ආහාර සතරකි.

ආහාර යන වචනයේ තේරුම ‘යම් කිසි ඵලයක් ඇති කරන හේතුවය’ යනු යි. නොයෙක් දේ ඇති කරන හේතු බොහෝ ඇත්තේ ය. ඒ හේතූන් අතුරෙන් කබලිංකාරාහාරාදි සතර ආධ්‍යාත්මික සන්තානයට අයත් නාම රූපයන්ගේ ඇති වීමට හා පැවැත්මට විශේෂයෙන් හේතු වන බැවින් ඒවාට ‘ආහාර’ යන නාමය දී තිබේ.

කබලිංකාරාහාරය යනු අනුභව කරන ආහාරවල ඕජාව ය. එයින් ශරීරයෙහි ආහාරජ රූප ඇති කරනු ලැබේ. වී ඇටයක බලය ප්‍ර‍ධාන වන්නේ ගොයම් පැළය ඇති කිරීමට ය. ඇති වූ ගොයම් පැළයේ වැඩීමට හා මාස ගණනක් පැවැත්වීමට ප්‍ර‍ධාන හේතු වන්නේ පෝර හා වතුර ය. එමෙන් කබලිංකාරාහාරයෙන් ජීවත් වන සත්ත්වයනට කර්මය ප්‍ර‍ධාන වන්නේ ප්‍ර‍තිසන්ධියේ දී රූප ඇති කිරීමට ය. ඉන් පසු සත්ත්වයාගේ වැඩීමට හා කලක් ජීවත් වීමටත් ප්‍ර‍ධාන වන්නේ සෘතු, ආහාර දෙක ය. කර්මජ රූප පරම්පරාව මරණය තෙක් පවත්නේ සෘතු ආහාරයන්ගේ අනුග්‍ර‍හයෙනි. සෘතුවට ද තමාගේ කෘත්‍යය කළ හැකි වන්නේ ආහාරයේ උපකාරය ලැබෙත හොත් ය. එබැවින් සත්ත්වයාගේ වැඩීමට හා කලක් ජීවත් වීමට ආහාරයාගේ උපස්තම්භනය ම ප්‍ර‍ධාන වේ. එබැවින් කබලිංකාරාහාරය විශේෂ හේතුවක් වශයෙන් වදාරා තිබේ.

ඵස්සාහාරය යනු ඵස්ස චෛතසිකය ය. එයින් වේදනාව ඇති කරනු ලැබේ. පක්ෂීහු ඔවුන් ගේ තුඩින් ආහාර ගෙන ජීවත් වෙති. තුඩ නැති වුව හොත් ආහාර ගැනීමට ක්‍ර‍මයක් නැතිව ඔවහු මැරෙන්නාහ. එමෙන් මේ සත්ත්වයෝ ඵස්සය නිසා ආරම්මණ රසය ලබා වේදනාවන් ඇතිවීමෙන් තණ්හාව ඇති කර ගෙන සංසාරය දික් කර ගනිති. ඵස්සයක් නැති නම් වේදනා තණ්හාවන්ට ඇතිවිය නොහී සංසාරය සිඳී යන්නේ ය. සංසාර ප්‍ර‍වෘත්තියට ඵස්සය ප්‍ර‍ධාන හේතුවක් වේ. එබැවින් එය ආහාර නාමයෙන් වදාරා තිබේ.

මනෝසඤ්චේතනා ආහාරය යනු කුශලාකුශල චේතනාව ය. එයින් කාම - රූප - අරූප යන භවත්‍රයෙහි ප්‍ර‍තිසන්ධිය ඇති කරනු ලැබේ. පක්ෂීහු ගසින් ගසට පියාඹා ආහාර සපයා ගෙන ජීවත් වෙති. එමෙන් මේ සත්ත්වයෝ කර්ම බලයෙන් භවයෙන් භවයට යෙමින් සංසාරය පවත්වති. ඉදින් සත්ත්වයා නැවත නැවත භවයෙන් භවයට යවන කර්මය නැති නම් සංසාර ප්‍ර‍වෘත්තිය නො වන්නේ ය. සංසාරය දිගින් දිගට නොසිඳී පැවැත්මට කර්මය ද විශේෂ හේතුවකි. එබැවින් එයට ද ආහාර නාමය දී තිබේ.

විඤ්ඤාණාහාරය යනු චිත්තය ය. එයින් ප්‍ර‍තිසන්ධියේ දී ස්පර්ශ වේදනාදි නාම ධර්මයන් හා කර්මජරූප ඇති කරනු ලැබේ. ප්‍ර‍වෘත්ති කාලයේ දී ද චිත්තජ රූප හා චෛතසික ධර්ම එයින් ඇති කරනු ලැබේ. විඤ්ඤාණයක් නැති නම් නාමරූපයන් ඇති නො වී සංසාරය බිඳී යන්නේ ය. සංසාර ප්‍ර‍වෘත්තියට විඤ්ඤාණය ද ප්‍ර‍ධාන හේතුවකි. එබැවින් එයට ද ආහාර නාමය දී තිබේ.

ආහාර සතරෙන් කබලිංකාරාහාරය රූපාහාරය ය. ඉතිරි තුන අරූපයෝ ය.

3. බෝධිපාක්ෂික සංග්‍ර‍හය

6 වන පාඩම

බෝධි යනු ලෝකෝත්තර මාර්ග ඥානයට නමෙකි. ලෝකෝත්තර මාර්ග ඥානයට උපකාර වන ධර්මයෝ බෝධිපාක්ෂික නම් වෙති. ‘සතිපට්ඨානය - සම්‍යක් ප්‍ර‍ධානය - සෘද්ධිපාදය - ඉන්ද්‍රියය - බලය - බෝධ්‍යඞ්ගය - මාර්ගාඞ්ගය’ යි බෝධිපාක්ෂික ධර්ම කොටස් සතෙකි. සතිපට්ඨාන සතරක් ද, සම්‍යක් ප්‍ර‍ධාන සතරක් ද සෘද්ධිපාද සතරක් ද, ඉන්ද්‍රිය පසක් ද, බල පසක් ද, බෝධ්‍යඞ්ග සතක් ද, මාර්ගාඞ්ග අටක් ද වන බැවින් වෙන් වෙන් වශයෙන් බෝධිපාක්ෂික ධර්ම සත් තිසක් වේ.

සතිපට්ඨාන

  1. කායානුපස්සනා සතිපට්ඨානය,
  2. වේදනානුපස්සනා සතිපට්ඨානය,
  3. චිත්තානුපස්සනා සතිපට්ඨානය,
  4. ධම්මානුපස්සනා සතිපට්ඨානය යි

මෙසේ සතිපට්ඨාන සතරෙකි.

සිතට නානාරම්මණයන්හි විසිර යා නො හෙන ලෙස, කායාදි ආරම්මණයන්හි මනා කොට පිහිටන සතිය සතිපට්ඨාන නම් වේ. එය ධර්ම වශයෙන් එකක් වුව ද පිහිටන ස්ථාන වූ කායාදි ආරම්මණයන් ගේ වශයෙන් සතරක් කොට වදාරා තිබේ.

ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක්හි හා කේශාදි කාය කොට්ඨාසයන්හි ද පවත්වන සිහිය කායානුපස්සනා සතිපට්ඨාන නම් වේ.

නවාකාර වේදනාවන්හි පවත්වන සිහිය වේදනානුපස්සනා සතිපට්ඨාන නම් වේ.

සරාගාදි වශයෙන් සොළොස් ආකාර වන චිත්තයෙහි පවත්වන සිහිය චිත්තානුපස්සනා සතිපට්ඨාන නම් වේ.

පඤ්චප්‍රභේද වූ නීවරණාදි ධර්මයන්හි පවත්වන සිහිය ධම්මානුපස්සනා සතිපට්ඨාන නම් වේ.

සම්‍යක්ප්‍ර‍ධාන

  1. උපන් අකුශලයන් ප්‍ර‍හාණය පිණිස කරන ව්‍යායාමය,
  2. නූපන් අකුශලයන් නූපදීම පිණිස කරන ව්‍යායාමය,
  3. නූපන් කුශලයන් ඉපදීම පිණිස කරන ව්‍යායාමය,
  4. උපන් කුශලයන් දියුණුවීම පිණිස කරන ව්‍යායාමය,

මෙසේ සම්‍යක්ප්‍ර‍ධාන සතරකි.

“බොහෝ වෙහෙසීම නිසා ශරීරයේ ලේ සිඳී මස් වියළී ගොස් ඇටත් සමත් නහරත් ඉතිරි වන තත්ත්වයට පැමිණියත් ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට කරන මේ වීර්‍ය්‍යය නො නවත්වමි” ය කියා පවත්වන බලවත් වීර්‍ය්‍යය සම්‍යක්ප්‍ර‍ධාන නම් වේ. ඒ වීර්‍ය්‍යය ධර්ම වශයෙන් එකක් වුව ද එයින් සිදුවන කෘත්‍යයන් අනුව සම්‍යක් ප්‍ර‍ධාන සතරක් කොට වදාරා තිබේ.

තමා අතින් යම් පාප කර්මයක් කෙරී ඇති නම්, එබඳු පාපයක් නිවනට පැමිණීම දක්වා තමා අතින් නැව සිදු නො වනු සඳහා සිල් පිරීමෙහි හා ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙහි පවත්වන බලවත් වීර්‍ය්‍යය පළමු වන සම්‍යක්ප්‍ර‍ධානය ය.

තමා අතින් සිදු වූ බවක් නො දන්නා වූ, අනුන් කරනු දැකීමෙන් ඇසීමෙන් හෝ බණ පොත්වලින් හෝ දැන ගන්නා ලද පාප කර්මයන් තමාගේ සන්තානයෙහි කිසි කලෙක ඇති නො වීම පිණිස, තමා අතින් ඒ පව්කම් නො කෙරෙනු පිණිස, සිල් පිරීමෙහි හා ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙහි ද පවත්වන වීර්‍ය්‍යය දෙවන සම්‍යක් ප්‍ර‍ධානය ය.

කුශල ධර්මයන් අතුරෙන් එතෙක් තමාගේ සන්තානයෙහි ඇති නො වූ ශීල, ශමථ විදර්ශනා භාවනා කුශලයන් ඇති කර ගැනුම පිණිස කරන ව්‍යායාමය, තවත් ක්‍ර‍මයකින් කියත හොත් සප්ත විශුද්ධීන් අතුරෙන් නොලැබූ විශුද්ධීන් ඇතිකර ගැනීම පිණිස පවත්වන වීර්‍ය්‍යය තුන් වන සම්‍යක් ප්‍ර‍ධානය ය.

පෘථග්ජන පුද්ගලයා විසින් යම් ශීලාදි ගුණයක් ඇති කරගෙන ඇතත් කෙලෙසුන්ට වසඟ වීමෙන් හෝ භවාන්තරයකට පැමිණීමෙන් හෝ ඔහුගේ ඒ ගුණ පිරිහී යා හැකි ය. එසේ නොවනු පිණිස, ලෝකෝත්තර මාර්ගයට පැමිණ ඒ ගුණ ස්ථිර කර ගැනීම සඳහා කරන ව්‍යායාමය සතර වන සම්‍යක් ප්‍ර‍ධානය ය.

සෘද්ධිපාද

  1. ඡන්දිද්ධිපාදය
  2. චිත්තිද්ධිපාදය
  3. විරියිද්ධිපාදය
  4. වීමංසිද්ධිපාදය

මෙසේ සෘද්ධිපාද සතරෙකි.

සෘද්ධි යනු යම් කිසිවක සිද්ධිය ය. (හරියාම ය.) අනේකප්‍ර‍කාර සෘද්ධි ඇත්තේ ය. ඒ සෘද්ධීන් අතුරෙන් මේ බෝධිපාක්ෂික ධර්ම කථාවෙහි සෘද්ධිය වශයෙන් ගැනෙන්නේ බුද්ධ ශාසනයෙහි භාවනාවෙන් උපදවන ධ්‍යානාභිඥා මාර්ග ඵල සඞ්ඛ්‍යාත මහද්ගත ලෝකෝත්තර ධර්ම සමූහය ය. සෘද්ධිපාදය යි කියනුයේ ඒ සෘද්ධීන්ට පැමිණීමට, ඒවා ලැබීමට ප්‍ර‍ධෘන වශයෙන් උපකාර වන ඡන්ද, චිත්ත, විරිය, වීමංස යන මේ ධර්ම සතරට ය.

බුදු සස්නෙහි යෝග කර්‍මයෙන් හෙවත් භාවනා බලයෙන් උපදවන මහද්ගත ලෝකෝත්තර ධර්ම ඉපද වීමට ඉතා දුෂ්කර ය. දුබල වූ ඡන්දාදියෙන් ඒවා නො ඉපදවිය හැකි ය. ඒවා ඉපදවිය හැක්කේ, මහත් වූ උපද්‍ර‍වයකින් වුව ද නැති කළ නො හෙන, බලවත් වූ ඡන්දාදියෙන් පමණෙකි. එබැවින් සෘද්ධිපාද වනුයේ අධිපති වීමෙන් බලවත් වූ ඡන්දාදි ධර්ම සතර බව දත යුතු ය.

ඉන්ද්‍රිය

සද්ධින්ද්‍රියය, විරියින්ද්‍රියය, සතින්ද්‍රියය, සමාධින්ද්‍රියය, පඤ්ඤින්ද්‍රියය යි ඉන්ද්‍රිය පසෙකි. මේ ඉන්ද්‍රිය පස මිශ්‍ර‍ක සංග්‍ර‍හයෙහි කියවුණු දෙවිසි ඉන්ද්‍රියන්හි ද කියවිණ. සාමාන්‍ය ශ්‍ර‍ද්ධාවය - භාවනාවෙන් දියුණු කළ ශ්‍ර‍ද්ධාවය යි ශ්‍ර‍ද්ධාව දෙ වැදෑරුම් වේ. බෝධිපාක්ෂික ධර්ම විෂයෙහි ශ්‍ර‍ද්ධේන්දිය වශයෙන් ගැනෙන්නේ භාවනාවෙන් දියුණු කළ ශ්‍ර‍ද්ධාව ය. එසේ ම වීර්යේන්ද්‍රියාදි වශයෙන් ගනු ලබන්නේ ද භාවනාවෙන් දියුණු කළ වීර්යේන්ද්‍රියාදිය ය.

බල

සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය කියා බල ධර්‍ම ද පසෙකි. මිශ්‍ර‍ක සංග්‍ර‍හයෙහි කියවුණු බලවල දී මේවා ද කියැවිණ. මේවායේ වෙනස ලෝකෝත්තර මාර්ගයට උපකාර විය හැකි තත්ත්වයට භාවනාවෙන් දියුණු කළ ශ්‍ර‍ද්ධාදිය වීම පමණෙකි.

බෝධ්‍යංග

7 වන පාඩම

  1. සති සම්බොජ්ඣඞ්ගය
  2. ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය
  3. විරිය සම්බොජ්ඣඞ්ගය
  4. පීති සම්බොජ්ඣඞ්ගය
  5. පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය
  6. සමාධි සම්බොජ්ඣඞ්ගය
  7. උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය

මෙසේ බෝධ්‍යංග සතෙකි.

ලෝකෝත්තර මාර්ගය ඇති වන අවස්ථාවෙහි එය හා බැඳී ඇති වන්නා වූ ස්මෘති ධර්මවිචයාදි මේ ධර්ම සත සිතෙහි හැකිළෙන බව සෙලවෙන බව යනාදි උපද්‍ර‍වයන් දුරු කරමින් අඩුවක් නැතිව මනා කොට සත්‍යාවබෝධය කිරීමට උපකාර වන බැවින් බෝධි නම් වේ. බෝධි නම් වූ ඒ ධර්ම සමූහයේ අඞ්ගයෝ (අවයවයෝ) බොජ්ඣඞ්ග නම් වෙති.

සති සම්බොජ්ඣඞ්ග යනු සතිපට්ඨානාදි නම් වලින් කියවුණු ස්මෘති චෛතසිකය ය. එය භාවනා කිරීමෙන් යෝගාවචරයොගේ සන්තානයෙහි ක්‍ර‍මයෙන් වැඩී ලෝකෝත්තර මාර්ග චිත්තය උපදනා අවස්ථාවෙහි එය හා බැඳී සත්‍යාවබෝධයට උපකාර වෙමින් උපදනේ ය.

ධම්මවිචය සම්බොජ්ඣඞ්ග යනු ප්‍ර‍ඥා චෛතසිකය ය. විදර්ශනාවට භූමි වන නාම රූප ධර්මයන් අනිත්‍යාදි වශයෙන් මනා කොට විභාග කරන බැවින් ඒ ප්‍ර‍ඥාව ධර්මවිචය නම් වේ. ඒ ප්‍ර‍ඥාව විදර්ශනාවට භූමිවන සංස්කාර විෂයෙහි ක්‍ර‍මයෙන් වැඩී ලෝකෝත්තර මාර්ග ඥානය වන්නේ ය.

විරිය සම්බොජ්ඣඞ්ග යනු සම්‍යක්ප්‍ර‍ධාන නාමයෙන් දැක්වුණු බලවත් වීර්‍ය්‍යය ය. එය ද අනුක්‍ර‍මයෙන් වැඩී කුශල ධර්මයන් විෂයෙහි පසුබැසීම හැකිළීම සිදු කරන ක්ලේශයන් දුරු කොට ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි දී සත්‍යාවබෝධයට සහාය වේ.

පීති සම්බොජ්ඣඞ්ග යනු ප්‍රීති චෛතසිකය ය. එය ද විදර්ශනා භූමිය වන සංස්කාරයන් කෙරෙහි භාවනා වශයෙන් වැඩී කුශල ධර්මයන් කෙරෙහි නො සතුටු වන ස්වභාවය දුරු කොට භාවනා වශයෙන් ක්‍ර‍මයෙන් වැඩී මාර්ගක්ෂණයෙහි සත්‍යාවබෝධයට සහාය වන්නේ ය.

පස්සද්ධි සම්බොජ්ඣඞ්ග යනු කාය - චිත්ත පස්සද්ධි දෙක ය. භාවනා කිරීමෙහි දී එය ක්‍ර‍මයෙන් වැඩී සිතෙහි දැවෙන තැවෙන ස්වභාවය දුරු කොට ශාන්ත ශීතල ස්වභාවයට පමුණුවා ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී සත්‍යාවබෝධයට සහාය වන්නේ ය.

සමාධි සම්බොජ්ඣඞ්ග යනු ඒකග්ගතා චෛතසිකය ය. එය ද භාවනාවෙන් ක්‍ර‍මයෙන් වැඩී සිතෙහි නො සන්සුන් බව දුරු කරමින් සත්‍යාවබෝධයට සහාය වන්නේ ය.

උපෙක්ඛා සම්බොජ්ඣඞ්ග යනු තත්‍ර‍මජ්ඣත්තතා චෛතසිකය ය. එය ද භාවනාවෙන් ක්‍ර‍මයෙන් වැඩී සිතෙහි හැකිළෙන සැලෙන ස්වභාවය සම්පූර්ණයෙන් දුරු කරමින් මාර්ගක්ෂණයෙහි දී සත්‍යාවබෝධයට සහාය වන්නේ ය.

මාර්ගාඞ්ග

සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මා සමාධි යන මේ ධර්මයෝ අට දෙන මාර්ගාඞ්ග නම් වෙති.

ලෝකෝත්තර භාවයෙන් එක වර එක සිතක් හා බැඳී උපදනා වූ සම්මාදිට්ඨි ආදි මේ ධර්ම අටෙන් කෙලෙස් නැසීම හා නිවන් දැකීම සිදු කරනු ලැබේ. මාර්ගාඞ්ග යන මෙහි මාර්ග යනුවෙන් කියැවෙන්නේ, “උපාය” යන අර්ථය ය. එය කෙලෙස් නැසීමේත් නිවන් දැකීමේත් උපාය ය. අඞ්ග යනුවෙන් කියැවෙන්නේ “අවයවය” යන අර්ථය ය. කෙලෙස් නසන, නිවන් දකින උපායේ අවයව (කොටස්) මාර්ගාඞ්ග නම් වේ. මේ ලෝකෝත්තර මාර්ගයෙහි තත්ත්ව සතරක් ඇත්තේ ය. ඒ තත්ත්වයන්ට පිළිවෙළින් සෝතාපත්ති මග්ග, සකදාගාමිමග්ග, අනාගාමිමග්ග, අරහත්තමග්ග යන නම් කියනු ලැබේ. මාර්ගාඞ්ග අට මිශ්‍ර‍ක සංග්‍ර‍හයෙහි කී පරිදි දත යුතු.

ප්‍රභේද වශයෙන් සත් තිසක් වන මේ බෝධිපාක්ෂික ධර්මයෝ පරමාර්ථ ධර්ම වශයෙන් ස්මෘතිය, වීර්‍ය්‍යය, ඡන්දය, චිත්තය, ප්‍ර‍ඥාවය, ශ්‍ර‍ද්ධාවය, ඒකාග්‍රතාවය, ප්‍රීතිය, ප්‍ර‍ශ්‍ර‍බ්ධිය, තත්‍ර‍මජ්ඣත්තතාවය, විතර්කය, සම්මා වාචාවය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය කියා තුදුසක් වන්නාහ.

මේ තුදුස් ධර්මයන් අතුරෙන් විතක්කය, පස්සද්ධිය, පීතිය, තත්‍ර‍මජ්ඣත්තතාවය, ඡන්දය, චිත්තය, විරති තුනය යන මේ ධර්ම නවය එක් එක් තැනක ම ආයේ ය. එක් ධර්මයක් වූ වීර්යය-සම්‍යක් ප්‍ර‍ධාන සතරය, විරියිද්ධිපාදය, විරියින්ද්‍රිය, විරිය බලය, විරියසම්බොජ්ඣඞ්ගය, සම්මාවායාමය යි ස්ථාන නවයක එන්නේ ය. එක් ධර්මයක් වන සතිය - සතිපට්ඨාන සතරය, සතින්ද්‍රියය, සති බලය, සති සම්බොජ්ඣඞ්ගය, සම්මා සතිය යි ස්ථාන අටක එන්නේ ය. ඒකග්ගතාව - සමාධින්ද්‍රියය, සමාධි බලයය, සමාධි සම්බොජ්ඣඞ්ගය, සම්මා සමාධිය යි ස්ථාන සතරක එන්නේ ය. ප්‍ර‍ඥා චෛතසිකය - වීමංසිද්ධිපාදය, පඤ්ඤින්ද්‍රියය, පඤ්ඤාබලය ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, සම්මා දිට්ඨිය යි ස්ථාන පසක එන්නේ ය. සද්ධින්ද්‍රිය, සද්ධාබලය, යන ස්ථාන දෙක්හි ශ්‍ර‍ද්ධා චෛතසිකය එන්නේ ය.

මේ බෝධිපාක්ෂික ධර්ම සියල්ල සියලු ම ලෝකෝත්තර සිත්වල සාමාන්‍යයෙන් ලැබෙන්නේ ය. ද්විතීයධ්‍යානාදි ලෝකෝත්තර සිත්වල ස්මමා සඞ්කප්පය ද චතුර්ථධ්‍යාන පඤ්චමධ්‍යාන ලෝකෝත්තර සිත්වල සම්මා සඞ්කප්ප, පීති සම්බොජ්ඣඞ්ග යන දෙක ම ද නො ලැබෙන්නේ ය. ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විශුද්ධීන් සම්පාදනය කිරීමේ දී ලෞකික සිත්වල ද සුදුසු පරිදි බෝධිපාක්ෂික ධර්මයෝ ලැබෙත්. ලෝකෝත්තර චිත්තයෙහි මෙන් ලෞකික චිත්තයන්හි බෝධිපාක්ෂික ධර්ම සියල්ල එකවර නො ලැබේ.

4. සර්ව සංග්‍ර‍හය

පඤ්චස්කන්ධය

8 වන පාඩම

රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්-කන්ධය විඥානස්කන්ධය යි ස්කන්ධ පසෙකි.

රූපස්කන්ධය යනු රූප පරිච්ඡේදයේ දැක්වුණු රූප විසි අටය. අතීතාදි වශයෙන් භේද වූ රූප සියල්ල රූපභාවයෙන් සිතින් එක් සමූහයක් වශයෙන් ගෙන සියල්ලට ම රූපස්කන්ධය යි කියනු ලැබේ. ස්කන්ධ යන වචනයේ තේරුම සමූහය යනුයි. රූප සමූහය රූපස්කන්ධය ය.

වේදනාස්කන්ධය යනු දෙපනස් චෛතසිකයන් ගෙන් එකක් වන වේදනා චෛතසිකය ය. අතීතාදි වශයෙන් අනේකාකාරයෙන් බෙදී ඇති වේදනා සියල්ල වේදනා භාවයෙන් සිතින් එක් කොට සියල්ල ම වේදනා ස්කන්ධය යි කියනු ලැබේ.

සංඥාස්කන්ධය යනු සංඥා චෛතසිකය ය. අතීතාදි වශයෙන් අනේකප්‍ර‍කාර වන සංඥා සියල්ල සංඥා භාවයෙන් සිතින් එක් කොට සියල්ලට සංඥාස්කන්ධ යයි කියනු ලැබේ.

සංස්කාරස්කන්ධ යනු වේදනා සංඥා දෙක හැර ඉතිරි චෛතසික පනස ය. අතීතාදි වශයෙන් අනේක ප්‍ර‍කාර වන ඒ චෛතසික රාශිය සංස්කාර භාවයෙන් එක් සමූහයක් වශයෙන් සිතින් සලකා සංස්කාරස්කන්ධ යයි කියනු ලැබේ.

විඥානස්කන්ධය යනු එකුන් අනූ චිත්තය ය. අතීතාදි වශයෙන් අනේකප්‍ර‍කාර වන විඤ්ඤාණ රාශිය විඥාන වශයෙන් එක් සමූහයක් කොට විඥානස්කන්ධ යයි කියනු ලැබේ.

සතර පරමාර්ථයෙන් නිර්වාණය හැර ඉතිරි සියල්ල පඤ්චස්කන්ධයට අයත් ය. අතීතාදි වශයෙන් ප්‍රභේදයක් නැතිව එක ම ධර්මයක් ම පවත්නා බැවින් නිර්වාණ සමූහයක් නැත. එබැවින් එය ස්කන්ධ සංග්‍ර‍හයට ඇතුළත් නො වේ.

සංස්කාර යන වචනය අර්ථ කීපයක යෙදේ. “අනිච්චා වත සංඛාරා” යන ගාථාවෙහි සංස්කාර යනුවෙන් කියැවෙන්නේ ප්‍ර‍ත්‍යයෙන් හටගත් දෙය ය. පඤ්චස්කන්ධයට අයත් සියල්ල ම ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා ධර්ම වන බැවින් “අනිච්චා වත සඞ්ඛාරා” යන්නෙහි එන “සඞ්ඛාර” ශබ්දයෙන් පඤ්චස්කන්ධය ම කියැවේ. සංස්කාරස්කන්ධය යි කියන තැන සංස්කාර නාමයෙන් ගැනෙන්නේ වේදනා සංඥාවන් නේ අන්‍ය වූ චෛතසික පනස ය. කරුණු අවුල් නො වීම පිණිස සංස්කාර යන වචනයෙන් කියැවෙන මේ අර්ථ දෙක මතක තබා ගත යුතු ය.

නාම රූප ධර්ම සමූහය රූප වේදනාදි වශයෙන් මෙසේ පස් කොටසකට බෙදා තිබෙන්නේ ආත්ම සංඥාව දුරු කර ගැනීමට පහසු වීම පිණිස ය. ආත්ම සංඥාව රූපාදි පස් කොටසෙහි වෙන් වෙන් වශයෙන් ඇති වේ. මම ලස්සනය, මම උසය, මිටිය, තරය යනාදීන් රූපයෙහි ආත්ම සංඥාව ඇති වේ. මම සැප විඳිමිය, දුක් විඳිමිය, සැප දුක් විඳින්නේ මාය යනාදීන් වේදනාව ආත්ම කොට ගනියි. මම අසවල් අසවල් දේ දනිමිය, දන්නේ මාය කියා සැලකීම් වශයෙන් සංඥාව ආත්ම කොට ගනියි. දෙන්නේත් මාය, ගන්නේත් මාය, යන්නේත් මාය, ඇලුම් කරන්නේත් මාය, කිපෙන්නේත් මාය යනාදීන් සංස්කාරයන් ආත්ම කොට ගනියි. මම දකිමිය, අසමිය යනාදීන් විඥානය ආත්ම කොට ගනියි. සාමාන්‍ය ජනයා එසේ ආත්ම වශයෙන් ගන්නා දේවල් රූපාදි ධර්මයන් බව තේරුම් ගත් කල්හි ආත්ම සංඥාව දුරු වේ. පඤ්චස්කන්ධය දැන ගැනීමේ ප්‍රයෝජනය ආත්ම සංඥාව දුරු කර ගත හැකි වීම ය.

උපාදානස්කන්ධ පස

රූපේපාදානස්කන්ධය, වේදනෝපාදානස්කන්ධය, සංඥෝ-පාදනස්කන්ධය, සංස්කාරෝපාදනස්කන්ධය, විඥානෝපාදානස්කන්ධය කියා උපාදානස්කන්ධ පසෙකි. රූපාදිය මගේ ය කියා ද මම ය කියා ද තදින් ගන්නා තෘෂ්ණා දෘෂ්ටි දෙක උපාදාන නම් වේ. සම්පූර්ණ පඤ්චස්කන්ධය ම උපාදානයන් ගේ ගැන්මට හසු නො වේ. උපාදානයන්ගේ ගැන්මට හසු වන්නේ උපාදානයන්ගේ පැවැත්මට ස්ථාන වන්නේ ලෞකික ධර්මයන්ය. ලෝකෝත්තර ධර්ම උපාදානයන්ට හසු නොවේ. සසර දුකින් මිදීමට උපාදාන නැති කළ යුතු ය. ඒවා නැති කළ හැක්කේ උපාදානයන් වැඩීමට ස්ථානවන රූපාරූප ධර්මයන් විදර්ශනා කිරීමෙනි. උපාදානයන්ට හසුවන නො වන ධර්ම දෙ කොටස ම පඤ්චස්කන්ධයට අයත් ය. විදර්ශනාවට ගත යුතු ධර්ම වෙන් කොට දැක්වීම සඳහා උපාදානස්කන්ධ පස වදාරා තිබේ.

  1. රූපෝපාදානස්කන්ධය යනු අටවිසි රූපය ය. රූප ලෞකික බැවින් සියල්ල ම උපාදානයන්ට ස්ථාන වේ.
  2. වේදනෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් අසූ එකෙහි වේදනා චෛතසිකය ය.
  3. සංඥෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් එක් අසූවෙහි සංඥා චෛතසිකය ය.
  4. සංස්කාරෝපාදානස්කන්ධය යනු ලෞකික සිත්වල යෙදෙන ඉතිරි චෛතසික පනස ය.
  5. විඥානෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් එක් අසූව ය.

ආයතන දොළොස

9 වන පාඩම

චක්ඛායතනය සෝතායතනය ඝානායතනය ජිව්හායතනය කායායතනය මනායතනය රූපායතනය සද්දායතනය ගන්ධායතනය රසායතනය ඵොට්ඨබ්බායතනය ධම්මායතනය කියා ආයතන දොළොසෙකි.

චක්ඛායතනය යනු චක්ෂුඃ ප්‍ර‍සාදය ය. සෝත - ඝාන - ජිව්හා - කායාතනයෝ ද ඒ ඒ ප්‍ර‍සාද රූපයෝ ය. මනායතනය යනු එකුන් අනූ චිත්තය ය. රූපායතනය යනු වර්ණරූපය ය. සද්දායතනය යනු ශබ්ද රූපය ය. ගන්ධායතනය යනු ගන්ධ රූපය ය. රසායතනය යනු රස රූපය ය. ඵොට්ඨබ්බායතනය යනු පඨවි තේජෝ වායෝ යන භූතරූප තුන ය. ධම්මායතනය යනු චෛතසික දෙපනස ය, සූක්ෂ්ම රූප සොළොසය ය, නිර්වාණය යන මේවා ය.

මේ ආයතන දොළොසෙන් චක්ඛායතනාදි සය ආධ්‍යාත්මිකායතන නම් වේ. රූපායතනාදි සය බාහිරායතන නම් වේ.

ආයතන නාමයෙන් දක්වා ඇත්තේ ද ස්කන්ධ නාමයෙන් දැක්වුණු පරමාර්ථ ධර්මයන් ම ය. වෙනස ආයතන විභාගයට නිර්වාණයත් ඇතුළු කර තිබීම පමණෙකි. පරමාර්ථ ධර්ම සමූහය ආයතන නාමයෙන් දොළොසකට බෙදා තිබෙන්නේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියා කිරීම අනුව ය. චක්ඛායතන රූපායතන දෙක්හි චක්ෂුද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති. සෝතායතන සද්දායතන දෙක්හි සෝතද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති. ඝානායතන ගන්ධායතන දෙක්හි ඝ්‍රාණද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති. ජිව්හායතන රසායතන දෙක්හි ජිව්හාද්වාරික චිත්ත චෛතසිකයේ ක්‍රියා කරති. කායායතන ඵොට්ඨබ්බායතන දෙක්හි කායද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති. මනායතන ධම්මායතන දෙක්හි මනෝද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති. චක්ෂුඃ ප්‍ර‍සාදාදියට ආයතනය යි කියනුයේ චිත්ත චෛතසිකයන් ක්‍රියා කරන ස්ථානයෝ ය යන අර්ථයෙනි. චිත්ත චෛතසිකයන් ඉපද තම තමා අයත් කෘත්‍යයන් සිදු කරන ස්ථාන ආයතන නම් වේ.

ඇතැමෙක් දැනීම් - රසවිඳීම් - හැඳිනීම් - සතුටුවීම් - විරුද්ධවීම් ආදි ක්‍රියා සිදුකරන නාම ධර්මයන් ආත්මය වශයෙන් තදින් ගෙන සිටිති. ස්කන්ධ ක්‍ර‍මයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ සත්කාය - දෘෂ්ටිය දුරු නො වේ. ආයතන ක්‍ර‍මයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ සත්කාය දෘෂ්ටිය දුරු වේ. එබැවින් ඔවුන් සඳහා මෙසේ පරමාර්ථ ධර්ම සමූහය ආයතන වශයෙන් දොළොස් කොටසකට බෙදා තිබේ.

ධාතු අටළොස

චක්ඛුධාතුවය සෝතධාතුවය ඝානධාතුවය ජිව්හා ධාතුවය කායධාතුවය රූපධාතුවය සද්දධාතුවය ගන්ධ ධාතුවය රසධාතුවය ඵොට්ඨබ්බධාතුවය චක්ඛුවිඤ්ඤාණ ධාතුවය සෝතවිඤ්ඤාණ ධාතුවය ඝානවිඤ්ඤාණධාතුවය ජිව්හාවිඤ්ඤාණධාතුවය කායවිඤ්ඤාණධාතුවය මනෝ ධාතුවය මනෝවිඤ්ඤාණධාතුවය ධම්මධාතුවය යි ධාතු අටළොසෙකි.

ධාතු යන වචනයේ තේරුම සත්ත්වයකු නො වන, පුද්ගලයකු නො වන දෙය ය යනු යි. චක්ෂුඃ ප්‍ර‍සාදය ම සත්ත්වයකු පුද්ගලයකු නො වන ස්වභාවයක් බැවින් චක්ඛුධාතු නම් වේ. සෝතධාතු ආදියත් ශ්‍රෝත්‍රාදි ප්‍ර‍සාද රූපයෝ ම ය. වර්ණ රූපය ම සත්ත්ව පුද්ගල නො වීමෙන් රූපධාතු නම් වේ. සද්ද - ගන්ධ - රස - ඵොට්ඨබ්බ ධාතූහු ද පිළිවෙළින් ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍යයෝ ය. එක ම මනායතනය මෙහි ධාතු සතකට බෙදා තිබේ.

සිත් අසූනවයෙන් චක්ඛු විඤ්ඤාණ දෙක චක්ඛු විඤ්ඤාණධාතුව ය. සෝත විඤ්ඤාණ දෙක සෝත විඤ්ඤාණධාතුව ය. ඝාන විඤ්ඤාණ දෙක ඝාන විඤ්ඤාණධාතුව ය. ජිව්හා විඤ්ඤාණ දෙක ජිව්හා විඤ්ඤාණධාතුව ය. කාය විඤ්ඤාණ දෙක කාය විඤ්ඤාණධාතුව ය. පඤ්චද්වාරාවජ්ජනය ය, සම්පටිච්ඡන දෙක ය යන මේ සිත් තුන මනෝධාතුව ය. ඉතිරි සිත් සැත්තෑසය මනෝවිඤ්ඤාණ ධාතුව ය. චෛතසික දෙපනස ය. සූක්ෂ්මරූප සොළොස ය, නිර්වාණය යන මේවා ධර්ම ධාතුව ය.

ධාතු වශයෙන් අටළොසකට බෙදා තිබෙන්නේ ද ආයතන වශයෙන් දොළොසකට බෙදන ලද ධර්ම සමූහය ම ය. එකක් වූ මනායතනය ධාතු විභාගයේ දී චක්ඛුවිඤ්ඤාණධාතු සෝතවිඤ්ඤාණධාතු ඝානවිඤ්ඤාණධාතු ජිව්හාවිඤ්ඤාණධාතු කායවිඤ්ඤාණධාතු මනෝ ධාතු මනෝවිඤ්ඤාණධාතු කියා සතකට බෙදා තිබේ. ආයතන ධාතු දෙකොටසෙහි ඇති වෙනස එය ය. සමහරුන්ට විඤ්ඤාණයෙහි ආත්ම සංඥාව තදින් ඇත්තේ ය. විඤ්ඤාණය පිළිබඳ විභාගයක් නැති ආයතන ක්‍ර‍මයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ ආත්ම සංඥාව දුරු නො වේ. එබැවින් විඥානයෙහි තදින් ආත්ම සංඥාව ඇතියන් සඳහා ඔවුන්ගේ ආත්ම සංඥාව දුරු කර ගැනීමට පහසු වනු සඳහා විඤ්ඤාණය වැඩිදුරටත් විභාග කොට දැක්වෙන මේ ධාතු විභාග දේශනය කර තිබේ.

චතුරාර්‍ය්‍ය සත්‍යය

10 වන පාඩම

දුඃඛාර්‍ය්‍ය සත්‍යය, දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය, දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය, දුඃඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය කියා ආර්‍ය්‍ය සත්‍ය සතරෙකි.

ඒකාන්තයෙන් ඇති ඒ සැටියට ම වන අන් ආකාරයකින් නො වන දෙය සත්‍ය නම් වේ. සත්‍යය යි කීමෙන් පමණක් නො නවත්වා ආර්‍ය්‍ය යන වචනය මුලට යොදා මේ සත්‍යයන්ට ආර්‍ය්‍ය සත්‍යය යි නම් කර තිබෙන්නේ කරුණු කීපයක් නිසා ය. සමහර සත්‍යයක් එක් ආකාරයකින් සත්‍ය වතුදු තවත් ආකාරයකින බලන කල්හි අසත්‍ය වේ. බුදුන් වහන්සේ විසින් වදාළ දුඃඛාදි සත්‍ය සතරෙහි කවර ආකාරයකින්වත් අසත්‍ය වීමක් නැත. ඒවා එසේ ම ය. කවර ආකාරයකින් වත් වෙනස් නො වන සත්‍යය, සත්‍යයන් අතුරෙන් උතුම් සත්‍ය වේ. මෙහි සත්‍යය යන වචනයට මුලින් ආර්‍ය්‍ය යන වචනය යොදා ඇත්තේ මේ සත්‍යයන්ගේ උතුම් බව දැක්වීමට ය. උත්තම වූ සත්‍යය ආර්‍ය්‍ය සත්‍ය නම් වේ.

මේ සත්‍ය සතර ප්‍ර‍කාශ කරන ලදුයේ බුදුන් වහන්සේ විසිනි. දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලබන බැවින් බුදුන් වහන්සේ ආර්‍ය්‍ය නම් වෙති. ආර්‍ය්‍ය වූ බුදුන් වහන්සේ විසින් දැක ලෝකයට ප්‍ර‍කාශ කරන ලද ඒවා වන බැවින් මේ සත්‍යයෝ බුදුන් වහන්සේ ගේ ය. ආර්‍ය්‍යයන් වහන්සේ ගේ සත්‍යයෝ ය යන අර්ථයෙන් මේවාට ආර්‍ය්‍ය සත්‍යයෝය යි කියනු ලැබේ.

යමකු විසින් මේ සත්‍ය සතර ප්‍ර‍ත්‍යක්ෂ කර ගත්තේ නම් ඒ තැනැත්තා පෘථග්ජන භාවය ඉක්මවා ආර්‍ය්‍ය පුද්ගල භාවයට පැමිණේ. ප්‍ර‍ත්‍යක්ෂ කරගත් තැනැත්තා ආර්‍ය්‍ය භාවයට පමුණුවන බැවින් ද මේ සත්‍යයන්ට ආර්ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.

දුඃඛාර්‍ය්‍ය සත්‍යය

ලෞකික සිත් එක් අසූව ය. ලෝභයෙන් අන්‍ය වූ චෛතසික එක් පනස ය, රූප අටවිස්ස ය යන මේ ධර්ම සමූහය දුඃඛ සත්‍යයට අයත් ය.

ඉපදීමේ දුකය, දිරීමේ දුකය, මරණ දුකය, ඤාති ව්‍යසනාදිය නිසා ශෝක කරන්නට - හඬන්නට සිදු වීමේ දුකය. ඥාති ව්‍යසනාදිය නිසා අධිකව සිත වෙහෙසීමේ දුකය, අප්‍රියයන් හා එක් වීමේ දුකය, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුකය, වුවමනා දෑ නැති කමේ දුකය යන මේ සියල්ල ම ඇති වන්නේ ඒ සියල්ලට ම වස්තු වන්නේ දුඃඛ සත්‍යයට අයත් ය කී ධර්ම සමූහය ය. ඒ ධර්ම අතර ජාති - ජරා - මරණ යන මේ තුනෙන් මිදුණ එක ම ධර්මයකුදු නැත. එබැවින් ඒ ධර්ම සමූහය ඒකාන්තයෙන් ම දුක් ය. ඒකාන්තයෙන් දුක් වන නිසා ඒවාට දුඃඛ සත්‍යය යි කියනු ලැබේ.

තව ද දුඃඛ සත්‍යය යි කියන ලද ඒ සංස්කාර ධර්ම රාශියට ඇලුම් කර ගෙන සිටින තැනැත්තා සංස්කාර දුඃඛය - විපරිණාම දුඃඛය - දුඃඛ දුඃඛය යන මේ දුක් තුනෙන් පෙළෙන නිසා ද ඒ ධර්මයෝ ඒකාන්තයෙන් දුක් වෙති.

ඒ දුක් තුනෙන් සංස්කාර දුඃඛය යනු යම් කිසිවක් පළමුවෙන් ඇති කර ගැනීම සම්බන්ධයෙන් හා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇති වන දුක ය, මිනිස් ලොව මිනිසකු වශයෙන් ඉපදීමට යම් කිසි පිනක් තිබිය යුතු ය. පිනක් නැතිව මනුෂ්‍ය පඤ්චස්කන්ධයක් නො ලැබිය හැකි ය. එබැවින් ලබනු කැමති තැනැත්තා විසින් එය සඳහා පින් කළ යුතු ය. පින් කරන්නට වීම මනුෂ්‍ය පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් ඇති වන එක් දුකෙකි. පින් කළේ ද බොහෝ පව් කම් කළ හොත් එය නො ලැබේ. එබැවින් පවින් වැළකිය යුතු ය. පවින් වැළකී සිටීමත් පහසු කරුණක් නො වේ. පවින් වැළකී සිටින්නට වීමත් මනුෂ්‍ය පඤ්චස්කන්ධය ඇති කර ගැනීම සම්බන්ධයෙන් ඇති එක් දුකෙකි. මිනිස් ලෙව උපන් පසු මිනිස් ජීවිත ඉබේ රැකෙන්නේ නො වේ. එය නැසෙන්නට නො දී පවත්වා ගැනීමට ආහාර පාන සැපයීමටත් ආරක්ෂා කිරීමටත් බොහෝ වෙහෙසිය යුතු ය. ඒ වෙහෙසීම උපන් පසු දිවි පැවැත්වීම සම්බන්ධයෙන් ඇත්තා වූ දුක ය. ඒ සියල්ල මනුෂ්‍ය පඤ්චස්කන්ධයෙන් ඇති කරන සංස්කාර දුඃඛය යි.

විපරිණාම දුඃඛය යනු ඇති වූ සංස්කාරයන් දිරායාමෙන් හා බිඳීයාමෙන් වන දුක ය. මේ මනුෂ්‍ය පඤ්චස්කන්ධය කෙසේ පෝෂණය කළත් දිර දිරා වෙනස් වන්නේ ය. වුවමනා පමණට ආහාරාදිය නො ලැබීමෙන් හෝ වුවමනා පරිදි ප්‍ර‍ත්‍යයන් නො ලැබීමෙන් හෝ අන්කිසි අන්තරායකින් හෝ මරණයට පැමිණෙන්නට වීමෙන් එය විනාශ විය හැකිය. ආයුෂය ගෙවීමෙන් කවදා හෝ මරණයට පැමිණ එය සම්පූර්ණයෙන් විනාශ වන්නේ ය. එය කවර බලයකින් වත් නො වැලැක්විය හැකි ය. පඤ්චස්කන්ධය නැසී යා හැකි රෝගාදි කරුණු දුටු කල්හි එය රැක ගැනීමට බොහෝ වෙහෙසෙන්නට සිදු වන්නේ ය. විනාශ වීමේ නිමිති දුටු කල්හි මහත් වූ බියක් හා ශෝකයක් ද ඇති වේ. ඒ සියල්ල මනුෂ්‍ය පඤ්චස්කන්ධය පිළිබඳ විපරිණාම දුඃඛ ය.

වරින් වර නොයෙක් කරුණෙන් ශරීරයේ නොයෙක් තැන් වල ඇති වන දුඃඛ වේදනා හා නොයෙක් කරුණෙන් ඇති වන මානසික දුඃඛ වේදනා දුඃඛ දුඃඛ නම් වේ. එක් ජීවිත කාලයකදී එබඳු දුක් බොහෝ ඇති වන්නේ ය. මනුෂ්‍ය පඤ්චස්කන්ධයක් නැති නම් ඒ දුක් එකකුදු ඇති නො වේ. එබැවින් ඒ දුක් සියල්ල ම මනුෂ්‍ය පඤ්චස්කන්ධයෙන් ම ඇති කරන ඒවා බව කිය යුතු ය. අන්‍ය පඤ්චස්කන්ධවලින් ද එසේ ම ඒ ත්‍රිවිධ දුඃඛය ඇති කරනු ලැබේ. ඉහත දුඃඛ සත්‍යයට අයත් යයි කී සංස්කාර සියල්ල ම ත්‍රිවිධ දුඃඛය නිසා ඒවාට ඇලුම් කරන තැනැත්තාට ඇති කර දෙන්නේ ය. එබැවින් ඒ සංස්කාර සමූහය සත්‍ය වූ දුක හෙවත් දුඃඛ සත්‍යය වන්නේ ය.

දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය

දුක් ඇති වීමේ සැබෑ හේතුව දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍ය නම් වේ. එනම් තණ්හාව ය. මෙහි අදහස් කරන තණ්හාව නම් පඤ්චස්කන්ධය හොඳ දෙයක් සැටියට, සැපය පවත්නා තැනක් සැටියට ගෙන එයට ඇලුම් කරන ස්වභාවය ය. අප්‍ර‍හීණ භාවයෙන් ඒ තණ්හාව පවත්නා තාක් සත්ත්වයා ලැබූ පඤ්චස්කන්ධය පවත්වා ගැනීම සඳහාත් අනාගත පඤ්චස්කන්ධයන් ලබනු සඳහාත් ක්‍රියා කරන්නේ ය. කර්මය යි කියනුයේ ඒවාට ය. සත්ත්වයා කර්ම කරන තාක් ම ඔහුට නැවත නැවත පඤ්චස්කන්ධය ලැබෙන්නේ ය. පඤ්චස්කන්ධය ලැබෙනතාක් සත්ත්වයා කියන ලද දුක් තුනෙන් නො මිදෙන්නේ ය. එබැවින් ඒ තණ්හාව දුක් ඇති කිරීමේ සැබෑ හේතුව වශයෙන් කියනු ලැබේ.

දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය

නිර්වාණය දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය නම් වේ. පඤ්චස්කන්ධය යම් තාක් කල් පවතී නම් එතෙක් කියන ලද තුන් ආකාර දුඃඛය ද පවත්නේ ය. තුන් ආකාර දුඃඛය නො පවත්නේ පඤ්චස්කන්ධය නිවී ගිය කල්හි ය. එබැවින් පඤ්චස්කන්ධයාගේ නිරෝධය දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ.

දුඃඛ නිරෝධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය

ලෝකෝත්තර මාර්ග චිත්තයෙහි ඇති වන සම්මා දිට්ඨි සම්මාසඞ්කප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන මාර්ගාඞ්ග අට ඒ දුඃඛ නිරෝධ ගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යය ය. තෘෂ්ණාව ඇති තාක් මේ දුක නැවත නැවත එන බැවින් දුකින් මිදීමේ එක ම මාර්ගය ඒ දුක් උපදවන තණ්හාව නැසීම ය. කියන ලද ලෝකෝත්තර මාර්ගය ඇති වන්නේ ඒ තෘෂ්ණාව නසමින් ය. තණ්හාව නැසීමේ බලය ඇති එක ම දෙය ඒ අෂ්ටාඞ්ගික මාර්ගය ය. එබැවින් එයට දුඃඛනිරෝධගාමිනීප්‍ර‍තිපදා ආර්‍ය්‍ය සත්‍යය යි කියනු ලැබේ. (මෙහි සෑම තැනක ම පඤ්චස්කන්ධය යි කීයේ ලෞකික ධර්මයන්ට පමණක් බව ද සැලකිය යුතු ය.)

කොටින් චතුරාර්‍ය්‍ය සත්‍යය

ලෞකික සිත් එක් අසූව ය, චෛතසික එක් පනස ය, රූප විසි අට ය යන මේවා දුඃඛ සත්‍යය ය. තෘෂ්ණාව හෙවත් ලෝභ චෛතසිකය සමුදය සත්‍යය ය. නිවන නිරෝධ සත්‍යය ය. ලෝකෝත්තර කුසල් සිත් සතරෙහි යෙදෙන සම්මාදිට්ඨි ආදි මාර්ගාඞ්ග අට මාර්ග සත්‍ය ය.

ලෝකෝත්තර කුසල්සිත් සතර ය, ඒවායේ යෙදෙන මාර්ගාඞ්ග අටෙන් අන්‍ය වූ චෛතසිකයෝ ය. ඵල සිත් සතර හා ඒවායේ යෙදෙන චෛතසිකයෝ ය. යන මේ ධර්මයෝ සත්‍ය සඞ්ග්‍ර‍හයට ඇතුළත් නො වෙති. චතුරාර්‍ය්‍ය සත්‍යයට අයත් නො වෙති.

මෙතෙකින් සමුච්චය සංග්‍ර‍හ නම්වූ සප්තම පරිච්ඡේදය නිමියේ ය.

8. අෂ්ටම පරිච්ඡේදය

1. ප්‍ර‍ත්‍යය කාණ්ඩය

දේව මනුෂ්‍යාදි සත්ත්ව සමූහය හා සියලු වස්තූන් සෑදෙන මූල ධාතු වන සිත් එකුන් අනූව ය, චෛතසික දෙපනස ය, රූප විසි අට ය යන පරමාර්ථ ධර්ම සමූහය ඉහත පරිච්ඡේද සතෙහි නොයෙක් ආකාරයෙන් විභාග කොට දක්වන ලද්දේ ය. දැන් ඔබ විසින් සෙවිය යුත්තේ ඒ පරමාර්ථ ධර්ම ඉබේ ම ඇති වෙන ඒවා ද? නැතහොත් යම් කිසි බලවතකු විසින් මවනවා ද? ඒවා ඇති වන්නේ කෙසේ ද? යන මේ කාරණය ය.

චිත්ත චෛතසික රූප පරමාර්ථයෝ නොයෙක් හේතූන් ගෙන් හට ගන්නෝ ය. එබැවින් ඒවාට සංස්කෘත ධර්ම යන නාමය ද සංස්කාර යන නාමය ද කියනු ලැබේ. නිර්වාණපරමාර්ථය ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නක් නො වේ. එබැවින් එයට අසඞ්ඛත ධාතුව ය යන නම කියනු ලැබේ.

සංස්කාර ධර්මයන් ඇති කරවන හේතූන්ට ප්‍ර‍ත්‍යය යන නාමය ද කියනු ලැබේ. ආර්‍ය්‍ය සත්‍ය ක්‍ර‍මය ය, ප්‍ර‍තීත්‍ය සමුත්පාද ක්‍ර‍මය ය, ප්‍ර‍ස්ථාන ක්‍ර‍මය ය කියා ක්‍ර‍ම තුනකින් බුදුරජාණන් වහන්සේ විසින් සංස්කාරයන්ගේ උත්පත්ති හේතූන් දේශනය කොට ඇත්තේ ය. එයින් ආර්‍ය්‍ය සත්‍ය ක්‍ර‍මය ඉතා කෙටි ක්‍ර‍මය ය. ප්‍ර‍තීත්‍ය සමුත්පාද ක්‍ර‍මය මධ්‍යම ක්‍ර‍මය ය. ප්‍ර‍ස්ථාන ක්‍ර‍මය විස්තර ක්‍ර‍මය ය.

ආර්‍ය්‍ය සත්‍ය විභාගය සත් වන පරිච්ඡේදයෙහි කියවුණු බැවින් මේ ප්‍ර‍ත්‍යය කාණ්ඩයේ දී විස්තර කරන්නට ඇත්තේ ප්‍ර‍තීත්‍ය සමුත්පාද ක්‍ර‍මය හා ප්‍ර‍ස්ථාන ක්‍ර‍මය ය.

අවිද්‍යාව ඇති කල්හි අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නේ ය, සංස්කාර ඇති කල්හි ඒවා නිසා විඤ්ඤාණය හට ගන්නේ ය යනාදීන් ඒ ඒ ධර්මයන් ඇති නිසා තවත් ධර්මයන් හට ගැනීමෙන් සංසාරය නො සිඳී පවත්නා සැටි උගන්වන හේතු ඵල ක්‍ර‍මය ප්‍ර‍තීත්‍ය සමුත්පාද ක්‍ර‍මය ය. එය අභිධර්ම පිටකයේ විභඞ්ග ප්‍ර‍කරණයෙහි දේශනය කොට තිබේ.

ප්‍ර‍ස්ථාන මහා ප්‍ර‍කරණයෙහි දේශනය කොට ඇති හේතු ඵල ක්‍ර‍මය ප්‍ර‍ස්ථාන ක්‍ර‍මය ය. ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනයෙහි අවිද්‍යාදිය නිසා සංස්කාරාදීන්ගේ ඇතිවීම පමණක් උගන්වනවා මිස, අවිද්‍යාවෙහි මේ මේ ශක්ති විශේෂ ඇත්තේ ය, ඒ ශක්ති අතුරෙන් අසවල් අසවල් ශක්තිවලින් අසවල් අසවල් ආකාර වලින් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍ර‍ත්‍යය වෙනවා ය නැතහොත් සංස්කාර උපදවනවා ය කියා උගැන්වීමක් නැත්තේ ය. ප්‍ර‍ස්ථානයෙහි වනාහි පරමාර්ථ වූ ද, පරමාර්ථ නො වූ සියලු ම ධර්මවල ඇති ප්‍ර‍ත්‍යය ශක්තීන් හා හේතු ආරම්මණාදි නොයෙක් ශක්තිවලින් ඒ ඒ ධර්ම ඒ ඒ ධර්මයන්ට ප්‍ර‍ත්‍යය යන ආකාරය උගන්වා ඇත්තේ ය. බුද්ධ ධර්‍මය පිළිබඳ අඞ්ග සම්පූර්ණ දැනුමක් ඇතිවන්නේ මේ ක්‍ර‍ම දෙකම උගෙනීමෙනි. මේ ක්‍ර‍ම දෙකින් කෙටි ක්‍ර‍මය ප්‍ර‍තීත්‍ය සමුත්පාදක්‍ර‍මය ය. එබැවින් මෙහි පළමුවෙන් ප්‍ර‍තීත්‍ය සමුත්පාද ක්‍ර‍මය විස්තර කරනු ලැබේ. එය උගන්නා තැනැත්තා හට පළමුවෙන්ම ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනා පාළිය පාඩම් කර ගෙන තිබීම ප්‍රයෝජනවත් ය. එය පාඩම් කර ගන්න. ඒ මෙසේ ය:-

2. පටිච්ච සමුත්පාද පාළිය

  1. අවිජ්ජා පච්චයා සඞ්ඛාරා,
  2. සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං,
  3. විඤ්ඤාණ පච්චයා නාමරූපං,
  4. නාමරූප පච්චයා සළායතනං,
  5. සළායතන පච්චයා ඵස්සො,
  6. ඵස්ස පච්චයා වේදනා,
  7. වේදනා පච්චයා තණ්හා,
  8. තණ්හා පච්චයා උපාදානං,
  9. උපාදාන පච්චයා භවෝ,
  10. භව පච්චයා ජාති,
  11. ජාති පච්චයා ජරාමරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවන්ති.

එවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.

3. ප්‍ර‍තීත්‍ය සමුත්පාද පාළියේ තේරුම

2 වන පාඩම

  1. අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙති,
  2. සංස්කාරයන් හේතු කොට විඤ්ඤාණය වේ,
  3. විඤ්ඤාණය හේතු කොට නාම-රූපය වේ,
  4. නාමරූපයන් හේතු කොට ෂඩායතනය වේ,
  5. ෂඩායතනයන් හේතු කොට ඵස්සය වේ,
  6. ඵස්සය හේතු කොට වේදනාව වේ,
  7. වේදනාව හේතු කොට තණ්හාව වේ,
  8. තණ්හාව හේතු කොට උපාදානය වේ,
  9. උපාදානය හේතු කොට භවය වේ,
  10. භවය හේතු කොට ජාතිය වේ,
  11. ජාතිය හේතු කොට ජරාව මරණය ශෝකය පරිදේවය දුඃඛය දෞර්‍මනස්‍යය උපායාසය යන මේවා ඇති වේ.

මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ හට ගැනීම වේ.

මෙතැන් පටන් පටිච්ච සමුප්පාදය දක්වන මේ වගන්ති පිළිවෙළින් විස්තර කරනු ලැබේ.

අවිජ්ජා පච්චයා සඞ්ඛාරා

අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙති.

මෙහි අවිද්‍යාව යනු දුක ය, දුක්ඇති වීමේ හේතුව ය, දුක් නිවීම ය, දුක් නිවීම වූ නිවනට පැමිණීමේ මාර්ගය ය යන කරුණු සතර වසන මෝහය ය.

සංස්කාරයෝ ය යනු ලෞකික කුශලාකුශල චේතනාවෝ ය. පුඤ්ඤාභිසඞ්ඛාරය, අපුඤ්ඤාභිසඞ්ඛාරය, ආනෙඤ්ජාභිසඞ්ඛාරය කියා කුශලාකුශල චේතනා සමූහය තුන් කොටසකට බෙදා තිබේ. කාමාවචර කුශල චේතනා අට හා රූපාවචර කුශල චේතනා පස පුඤ්ඤාභිසඞ්කාර නම් වේ. අකුසල චේතනා දොළොස අපුඤ්ඤාභිසංඛාර නම් වේ. අරූපාවචර කුශල චේතනා සතර ආනෙඤ්ජාභිසඞ්ඛාර නම් වේ. බලවත් සමාධියෙන් යුක්ත වන අරූපාවචර කුශලය ලෙහෙසියෙන් නො සෙලවෙන බැවින් එයට ආනෙඤ්ජාභිසඞ්ඛාරය යි කියනු ලැබේ. කායසඞ්ඛාර - වචීසඞ්ඛාර - චිත්තසඞ්ඛාර කියා ද සඞ්ඛාරය ත්‍රිවිධවේ.

අවිද්‍යාව ඇති තැනැත්තා දුඃඛස්කන්ධයක් වූ මේ සංසාරය සැපයකැ යි වරදවා තේරුම් ගෙන, ආත්ම භාවය පවත්වා ගැනීම සඳහා ද, පිනවීම සඳහා ද, නොයෙක් පව් කම් කරන්නේ ය. මතු භවයෙහි සැප සඳහා පින් කම් කරන්නේ ය. අවිද්‍යාව නැති නම් ඒ පින් පව් නො කෙරෙන්නේ ය. එබැවින් අවිද්‍යාව හේතු කොට සංස්කාර ඇති වෙතැයි කියනු ලැබේ.

මේ පරමාර්ථ ධර්මයන් අතර එක ම හේතුවකින් ඇති වන සංස්කාරයක් නැත්තේ ය. කවරක් වුව ද ඇති වන්නේ හේතු බොහෝ ගණනකිනි. මේ පටිච්ච සමුප්පාදයෙහි සංස්කාරයන්ගේ හේතුව වශයෙන් අවිද්‍යාව නමැති එක් ධර්මයක් පමණක් දක්වා ඇත්තේ ප්‍ර‍ධාන හේතුව දැක්වීම් වශයෙනි. අනික් තැන්වල ද එක් එක් හේතුවක් ම දක්වා ඇත්තේ ප්‍ර‍ධාන හේතුව දැක්වීම් වශයෙන් ම ය.

ඒකාන්තයෙන් අකුශලයක් වන මෝහයෙන් එයට විරුද්ධ දෙයක් වන කුශලය කෙසේ ඇති විය හැකි ද? යන ප්‍ර‍ශ්නය මෙහි මතුවිය හැකිය. හේතු ඵල දෙක සමවිය යුතුය කියා නීතියක් නැත. දුගඳ වූ ද, දුර්වර්ණ වූ ද මඩින්: සුවඳ වූ ද, වර්ණවත් වූ ද පද්මය හට ගන්නේ ය. ඉතා පැහැපත් වූ ගින්නෙන් දුර්වර්ණ වූ දුම හට ගන්නේ ය. එබැවින් කුශලයට විරුද්ධ වූ අකුශලයෙන් කුසල් ද ඇති විය හැකි බව පිළිගත යුතු ය.

සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං

සංස්කාරයන් හේතු කොට විඤ්ඤාණය වේ.

ලෞකික විපාක සිත් දෙතිස සංස්කාරයන් හේතු කොට ඇති වන විඤ්ඤාණය ය. ලෝකෝත්තර විපාක මෙහි නො ගනු ලැබේ. ලෞකික විපාක ද, ප්‍ර‍තිසන්ධි විපාක - ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් දෙ කොටසකි. සංස්කාරයන් අතුරෙන් උද්ධච්ච සහගත චේතනාව ප්‍ර‍තිසන්ධි විපාකයන්ට ප්‍ර‍ත්‍යය නො වේ. අභිඥා චේතනාව එක ම විපාක විඤ්ඤාණයකට ද ප්‍ර‍ත්‍යය නො වේ. උද්ධච්ච සහගත චේතනාව ප්‍ර‍තිසන්ධි විපාක නො දෙන බව පස්වන පරිච්ඡේදයේ කියා ඇත. අභිඥා චේතනාව ඔබට දත හැකි වන්නේ කර්මස්ථාන කාණ්ඩයෙන් ය.

සංස්කාරයන් හේතු කොට විපාක විඤ්ඤාණයන් ඇති වීම ගැඹුරු කරුණෙකි. කර්මයක් නැතිව මේ විපාක විඤ්ඤාණයන් ඇති වන්නේ නම්, හැම විපාක විඤ්ඤාණයක් ම සැම දෙනාට ම ඇති විය යුතු ය. ඒ ඒ කර්ම කළවුන්ට මිස, අන්‍යයන්ට ඒ ඒ කර්මයන් සම්බන්ධ විපාක විඤ්ඤාණ ඇති නො වේ. කර්මයක් නැතහොත් විපාක විඤ්ඤාණයක් ඇති නො වන බව එයින් තේරුම් ගත යුතු ය. කර්මය ඇති කල්හි ම විපාක විඤ්ඤාණයන් ඇති වන බැවින් කර්මය විපාක විඤ්ඤාණයන්ට ප්‍ර‍ත්‍යය වන බව දත හැකි ය.

විඤ්ඤාණ පච්චයා නාමරූපං

විඤ්ඤාණය හේතු කොට නාමරූපය වේ.

විඥාන ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා නාමයෝ නම් ඒ ඒ විඤ්ඤාණයන් හා බැඳී උපදනා චෛතසිකයෝ ය. චෛතසික දෙපනස ය, කර්මාදි ප්‍ර‍ත්‍යය සතරෙන් හට ගත් නාම රූපයෝ ය යන මේවා විඥාන ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා නාමරූපයෝ ය. ඒ ඒ විඤ්ඤාණයන් නිසා හට ගත හැකි නාම-රූප වෙන් වශයෙන් ඉහත පරිච්ඡේදවලදී කියවුණු කරුණු අනුව තේරුම් ගත යුතු ය.

සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් ඇති වන්නේ විපාක විඤ්ඤාණයන් පමණෙකි. කුශලාකුශල ක්‍රියා විඥානයෝ ද නාමරූපයන්ට ප්‍ර‍ත්‍යය වෙති. එබැවින් සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් ඇති වන විඥානය විපාක විඥානය වශයෙන් ද, නාමරූපයන්ට ප්‍ර‍ත්‍යය වන විඥානය, විපාක අවිපාක විඤ්ඤාණ සියල්ල ම බව ද දත යුතු ය.

ප්‍ර‍තිසන්ධි විඥානය ප්‍ර‍ත්‍යය වන්නේ නාමයන්ට හා කර්මජ රූපයන්ට පමණෙකි. ප්‍ර‍වෘත්ති විඥානය නාමයන්ට හා සියලු ම රූපයන්ට ප්‍ර‍ත්‍යය වේ.

විඥාන ප්‍ර‍ත්‍යයෙන් නාම-රූප හට ගැනීම භව අනුව තේරුම් ගත යුතු ය. කාම-රූප භව දෙක්හි විඥාන ප්‍ර‍ත්‍යයෙන් නාම-රූප දෙක ම ඇති වේ. අරූප භවයෙහි විඥාන ප්‍ර‍ත්‍යයෙන් හටගන්නේ නාම පමණෙකි. අසංඥ භවයෙහි විඥාන නැත්තේ ය. එහි අතීත භවයට අයත් කර්ම විඥානයේ බලයෙන් රූප පමණක් ඇති වේ.

විඥානය පහළ නුවුවහොත් නාම රූපයන්ගේ පහළ වීමක් නෙ ාව්නනේ ය. එයින් නාම-රූපයන්ගේ පහළ වීම විඤ්ඤාණය නිසා වන්නක් බව දත හැකි ය. ගින්න හටගන්නා කල්හි එයින් ආලෝකය ඇතිවන්නාක් මෙන් විඤ්ඤාණය හටගන්නා කල්හි එයින් නාම රූප ද ඇති වීම දත යුතු ය.

නාමරූප පච්චයා සළායතනං

නාමරූප හේතු කොට ෂඩායතනය වේ.

ආයතන දොළොසක් ඇති බව ඉහත කියා ඇත. ඒ ආයතන දොළොසින් මෙහි ගැනෙන්නේ චක්ඛායතන - සෝතායතන - ඝානායතන - ජිව්හායතන - කායායතන - මනායතන යන මේ ආයතන සය ය.

නාම යන වචනයෙන් චිත්තය - චෛතසිකය - නිර්වාණය යන පරමාර්ථ ධර්ම තුන ම කියැවේ. මෙහි නාම යනුවෙන් ගැනෙන්නේ චෛතසික දෙපනස ය. රූප යනුවෙන් ගැනෙන්නේ එක් එක් සන්තානයකට අයත් මහාභූත සතර ය-වස්තුරූප හය ය-ජීවිතින්ද්‍රිය රූපය ය යන මේ එකොළොස ය. සමහර පොතක ආහාර රූපයත් සමග රූප දොළොසක් ගෙන තිබේ.

නාම රූප ප්‍ර‍ත්‍යයෙන් ෂඩායතන ඇති වීමත් විභාග කොට දත යුත්තකි. අරූප භූමියෙහි රූප නැති බැවින් නාමය පමණක් ප්‍ර‍ත්‍යය වීමෙන් එහි මනායතනය පමණක් ැති වේ. කාම භූමියෙහි නාම - රූප දෙක ම ප්‍ර‍ත්‍යය වීමෙන් ආයතන සය ම පහළ වේ. රූප භූමියෙහි නාම - රූප දෙක ම ප්‍ර‍ත්‍යය වී චක්ඛායතන - සෝතායතන - මනායතන යන ආයතන තුන පහළ වේ. අසඥ භූමියෙහි මේ ආයතන සයෙන් එකකුදු පහළ නො වේ. ෂඩායතනයට ම අයත් වන චක්ෂුරාදි වස්තුරූප පස, මෙහි ප්‍ර‍ත්‍යය කොට්ඨාසයට ගැනෙන්නේ, වස්තු රූප නිසා මනායතනය පහළ වන බැවිනි. ෂඩායතනයන් පහළ වීම නාම රූපයන්ගේ දියුණුව ම ය. කුඩා ඇට්ටි ගෙඩියෙහි කටුවක් ද, මදයක් ද, වතුර ද නැත. එය වැඩෙන කල්හි ඒවා ඇති වේ. නාම රූපයන්ගේ ෂඩායතන ඇති වීමත් එමෙන් දත යුතු ය.

3 වන පාඩම

සළායතන පච්චයා ඵස්සෝ

ෂඩායතනය හේතු කොට ඵස්සය වේ.

මෙහි ඵස්ස යනු ඵස්ස චෛතසිකය ය. එය චක්ඛු සම්ඵස්සය - සෝත සම්ඵස්සය - ඝාන සම්ඵස්සය - ජිව්හා සම්ඵස්සය - කාය සම්ඵස්සය - මනෝ සම්ඵස්සය කියා සවැදෑරුම් වේ. ෂඩායතනය නිසා ඵස්සය ඇති වේ යි කීමෙන් ආයතන සයෙන් ම ඵස්ස සය ම ඇති වේ ය කියා හෝ එක් එක් ආයතනයකින් ඵස්ස සය බැගින් ඇති වේය කියා හෝ නො ගත යුතු ය. චක්ඛායතනයෙන් ඇති වන්නේ චක්ඛු සම්ඵස්සය පමණෙකි. සෝතාදි එක් එක් ආයතනයකින් ඇති වන්නේ ද සෝත සම්ඵස්සාදි එක් එක් ඵස්සයක් පමණකි. අරූප ලෝකයෙහි ඇති වන්නේ මනෝ සම්ඵස්සය පමණකි. රූප ලෝකයෙහි ඇති වන්නේ ඵස්ස තුනෙකි. කාම ලෝකයේ ඵස්ස සය ම ඇති වේ.

ආධ්‍යාත්මිකායතන සය ඇති කල්හි කවර කලෙක හෝ බාහිරායතනයන් හා ගැටීම් සිදුවේ. ආධ්‍යාත්මික ආයතන නැති නම් ඒ ගැටීම් කවදාවත් සිදු නො වේ. එබැවින් ආයතන සය තිබීම ඵස්සය ඇති වීමේ කාරණය වේ.

ඵස්ස පච්චයා වේදනා.

ඵස්සය හේතු කොට වේදනාව වේ.

ඵස්සය සර්වචිත්තසාධාරණ චෛතසිකයක් බැවින් සියලු ම සිත්වල ඇත්තේ ය. ඒ සියල්ල ම වේදනාවන්ට ද ප්‍ර‍ත්‍යය වන්නේ ය. එහෙත් මේ පටිච්ච සමුප්පාද කථාවෙහි ගනු ලබන්නේ දෙතිස් ලෞකික විපාක චිත්තයන්හි ඇති ඵස්සය පමණෙකි. වේදනාව ද සැම සිතක ම ඇතියක් නමුත් මෙහි ගනු ලබන්නේ ලෞකික විපාක වේදනා දෙතිස පමණෙකි.

ඵස්සයක් වුවහොත් වේදනාවක් ද ඇති වන්නේ ය. ඵස්සය නො වුව හොත් කවර කලෙකවත් වේදනාවක් ඇති නො වන්නේ ය. වේදනාවක් ඇති වීමට ඵස්සය විය යුතු ම ය. එබැවින් ඵස්සය හේතු කොට වේදනාව වේය යි කියනු ලැබේ.

වේදනා පච්චයා තණ්හා

වේදනාව හේතු කොට තණ්හාව වේ.

මෙහි තණ්හාවට හේතු වන වේදනාව වශයෙන් ලෞකික සිත එක් අසූවෙහි යෙදෙන වේදනා එක් අසූව ම ගණන් ගනු ලැබේ. වේදනා හේතුවෙන් වන තණ්හාව සාමාන්‍යයෙන් එකක් වුව ද, ආරම්මණයන් ගේ වශයෙන් රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ඵොට්ඨබ්බ තණ්හාව, ධම්ම තණ්හාව කියා සවැදෑරුම් වේ. ඒ එක් එක් තණ්හාවක් කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාවය යි තුන් තුන් ආකාර වන බැවින් තණ්හා අටළොසක් වේ. ආධ්‍යාත්මික සන්තාන, බාහ්‍ය සන්තාන දෙක්හි ම ඒවා ලැබෙන බැවින් සන්තාන වශයෙන් තණ්හා සතිසක් වේ. ඒ එක් එක් තණ්හාවක් අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යාගේ වශයෙන් තුනක් බැගින් වන බැවින් තණ්හා එකසිය අටක් වේ.

සුඛ වේදනාවට සත්ත්වයන් කැමති වන බැවින් එය ගැන තණ්හාව ඇති වීම ප්‍ර‍කට ය. දුඃඛ වේදනාව සත්ත්වයන් නො කැමති දෙයකි. නො කැමති දෙය වන දුඃඛ වේදනාව කෙසේ තණ්හාවට හේතු වන්නේ ද කියා මෙහි ප්‍ර‍ශ්නයක් ඇති වේ. සත්ත්වයන් දුඃඛ වේදනාවට නො කැමති බව සත්‍යයෙකි. දුඃඛ වේදනාවෙන් පීඩිත සත්ත්වයාට සැපත ගැන ආශාව ඇති වේ. එයට හේතුව වූයේ ඔහුට ඇති වූ දුඃඛ වේදනාව ය. එබැවින් දුඃඛ වේදනාව ද තණ්හාවට හේතු වන බව දත යුතු ය. උපේක්ෂා වේදනාව ශාන්ත බැවින් එයට ද සත්ත්වයෝ කැමැත්තෝ ය. එබැවින් වේදනා තුන ම තෘෂ්ණා හේතු භාවයෙන් ගනු ලැබේ.

තණ්හා පච්චයා උපාදානං

තෘෂ්ණාව හේතු කොට උපාදානය වේ.

උපාදාන සතරක් ඇති බව සත්වන පරිච්ඡේදයේ කියා ඇත. ධර්ම වශයෙන් ගන්නා කල්හි තෘෂ්ණාවය දෘෂ්ටිය යි උපාදාන දෙකකි. වේදනාව හේතු කොට ඇති වන තණ්හාවේ හා උපාදාන තණ්හාවේ වෙනස මෙසේ ය:- වේදනා ප්‍ර‍ත්‍යයෙන් වන තණ්හාව දුබල ය. තෘෂ්ණා ප්‍ර‍ත්‍යයෙන් වන උපාදාන තණ්හාව බලවත් ය. මැණික් ගරන්නකුට මැණික හසුවන්නට කලින් ඇති වන තණ්හාව මෙන් වේදනා ප්‍ර‍ත්‍යයෙන් වන තණ්හාව දත යුතු ය. අතට පත් වටිනා මැණික් ගැන ඇති වන තණ්හාව මෙන් උපාදාන තණ්හාව දත යුතු ය.

බෞද්ධාබෞද්ධ සැමට ම වේදනා ප්‍ර‍ත්‍යයෙන් තණ්හාව ඇති වේ. තණ්හාවෙන් කාමූපදානය ඇති වේ. තණ්හාව නිසා බෞද්ධාබෞද්ධ කාහටත් අත්තවාදූපාදානය ද ඇති වේ. දිට්ඨූපාදාන - සීලබ්බතූපාදාන දෙක සැබෑ බෞද්ධයන්ට ඇති විය නො හැකි ය.

උපාදානයන් ඇති වන්නේ ද වේදනාව නිසා ඇති වන තණ්හාව දියුණු වීමෙනි.

උපාදාන පච්චයා භවො.

උපාදානය හේතු කොට භවය වේ.

කර්ම භවය - උත්පත්ති භවය කියා උපාදාන ප්‍ර‍ත්‍යයෙන් වන භව දෙකකි. ලෞකික කුශලාකුශල චේතනා රාශියට ‘කර්ම භවය’ යි කියනු ලැබේ. අකුසල් සිත් දොළොස ය, ලෞකික කුසල් සිත් සතළොස ය, චෛතසික දෙපනස ය යන මේ ධර්ම රාශියට ම ද ‘කර්ම භවය’ යි කියනු ලැබේ. ලෞකික විපාක දෙතිස ය, ඒවායේ යෙදෙන චෛතසික තෙතිස ය, කර්මජ රූප විස්ස ය යන මේ ධර්ම රාශිය ‘උත්පත්ති භව’ නම් වේ.

කාමභවය - රූප භවය - අරූප භවය - සඤ්ඤී භවය - අසඤ්ඤී භවය - නේවසඤ්ඤානාසඤ්ඤා භවය - ඒකවෝකාර භවය - චතුවෝකාර භවය - පඤ්ච වෝකාර භවය කියා උත්පත්ති භව නවයක් ද දක්වා ඇත්තේ ය. කාම භවාදිය ප්‍ර‍කට ය. රූපස්කන්ධය නමැති එක් ස්කන්ධයක් පමණක් ඇති අසංඥ භවය ඒකවෝකාර භව නම් වේ. නාමස්කන්ධ සතර පමණක් ඇති අරූප භවය චතුවෝකාර භව නම් වේ. ස්කන්ධ පසම ඇති ඉතිරි භව සියල්ල පඤ්චවෝකාර භව නම් වේ.

උපාදානයන් ඇති වූ කල්හි ඒවා නිසා මම ය මාගේ යයි ගන්නා පඤ්චස්කන්ධය, පවත්වා ගැනීම සඳහාත්, සුව පත් කිරීම සඳහාත්, අනාගතයෙහි පඤ්චස්කන්ධය ලැබීම සඳහාත් නොයෙක් දේ කරන්නට පටන් ගන්නේ ය. ඒ කරන දේවල් උපාදාන ප්‍ර‍ත්‍යයෙන් ඇති වන කර්ම භවය ය. උපාදානයන් නිසා කෙළින් ම උත්පත්ති භවය ඇති වන්නේ නො වේ. එය ඇතිවන්නේ කර්ම භවය නිසා ය. උත්පත්ති භවයේ හේතුව කර්ම භවය ය. කර්ම භවයේ හේතුව උපාදානය ය. උපාදාන හේතුවෙන් උත්පත්ති භවයේ ඇති වීම කියනුයේ කර්ම භවය ඇති කරන හේතුව උත්පත්ති භවයේ ද හේතුව වශයෙන් ගැනීමෙනි. ලෝකයෙහි හේතුවේ හේතුවත් සමහර තැනකදී හේතුව වශයෙන් ගෙන කථා කරනු ලැබේ. දරවලින් බත පිසේ ය යනු එබඳු තැනකි. බත පිසෙන්නේ දරයෙන් නොව ගින්නෙනි. දර ගින්නේ හේතුව ය. එහෙත් ගින්නේ හේතුව වූ දර, බතේ හේතුව සැටියට ගෙන කථා කරනු ලැබේ. උපාදාන හේතුවෙන් උත්පත්ති භවය ඇති වේ යයි කීම ද එසේ දත යුතුය.

භව පච්චයා ජාති

භවය හේතු කොට ජාතිය වේ.

මෙහි ජාතිය යයි කියනුයේ ඒ ඒ භවයන්හි සත්ත්වයනට පළමුවෙන් ම පහළ වන ස්කන්ධයන්ට ය. කර්ම භව - උත්පත්ති භව දෙකින් ජාතියට ප්‍ර‍ත්‍ය ය වන්නේ කර්ම භවය පමණෙකි. එබැවින් ‘උපාදාන පච්චයා භවෝ’ යන තන්හි භව යනුවෙන් කර්ම භව උත්පත්ති භව දෙක ම ගනිතත් භව පච්චයා ජාති යන්නෙහි භව යන වචනයෙන් කර්ම භවය පමණක් ගත යුතුය. කර්ම භවය ජාතියට ප්‍ර‍ත්‍යය වන බව සත්ත්වයන් ගේ වෙනස්කම්වලින් තේරුම් ගත හැකිය. එක මවකුගේ කුසින් එකවර ඉපද එකට වැඩුණු නිවුන් දරුවන් දෙදෙනා ද සැප දුක් ආදියෙන් ඔවුනොවුන් වෙනස් වන්නේ කර්මය නිසා ය.

‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා’ යන්නෙන් කියැවෙන්නේ සඞ්ඛාරයත්, මේ කර්ම භවයත් කර්ම වශයෙන් සමාන ය. මේ ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනයට භව තුනක් සම්බන්ධ ය. සඞ්ඛාර යන නාමයෙන් කියැවෙන්නේ ද වර්තමාන භවයේ උත්පත්තියට හේතු වූ අතීත කර්මය ය. කර්ම භව නාමයෙන් කියැවෙන්නේ වර්තමාන භවයේ දී කරන කර්මය ය.

ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවන්ති.

ජාතිය හෙවත් ඉපදීම වුවහොත් ජරා මරණ දෙක ඒකාන්තයෙන් වන්නේ ය. ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාසයෝ ද බොහෝ සත්ත්වයට වෙති. ශෝකාදිය සමහර සත්ත්වයනට අඩුවෙන් ද සමහර සත්ත්වයනට වැඩියෙන් ද වේ. රූපාරූප ලෝකවල ඒවා නැත්තේ ය. ජාතිය ඇති සෑම දෙනාට ම නො වන ශෝකාදිය මෙයට ඇතුළු කොට දේශනය කර තිබෙන්නේ සංසාර ප්‍ර‍වෘත්තියේ නපුර දැක්වීම පිණිස ය.

මෙහි ජරාව යනු නාමරූපයන් ගේ භඞ්ගයට ළං වීම වූ ස්ථිතිය ය. මරණය යනු නාමරූපයන් ගේ භඞ්ගය ය. විනාශය ය. ශෝකය යනු ඥාති ව්‍යසන ආදිය නිසා වන දෝමනස්ස වේදනාව ය. පරිදේව යනු ඥාති ව්‍යසනාදියෙන් ශෝකයට පත්වූවන් නඟන අනිෂ්ට ශබ්දය ය. දුඃඛ යනු කායික දුඃඛ වේදනාව ය. දෞර්මනස්‍ය යනු මානසික දුඃඛ වේදනාව ය. දෝමනස්ස වේදනාව ය. උපායාස යනු ඥාති ව්‍යසනාදිය නිසා සිතෙහි ඇති වන මහත් වූ වෙහෙස ය. එය එක්තරා ආකාරයකින් ඇති වන ද්වේෂ චෛතසිකය ම ය.

4. පටිච්චසමුප්පාදය ගැන දත යුතු කරුණු

මේ පටිච්ච සමුප්පාදයෙහි කාල තුනක් ද, අඞ්ග දොළොසක් ද, ආකාර විස්සක් ද, සන්ධි තුනක් ද, කොට්ඨාස සතරක් ද, වෘත්ත තුනක් ද, මූල දෙකක් ද ඇත්තේ ය. පටිච්ච සමුප්පාදය පිළිබඳ දැනීම සම්පූර්ණ වීමට ඒවා ද දත යුතු ය.

කාල තුන

පටිච්ච සමුප්පාදාඞ්ගයන් ගෙන් අවිජ්ජා - සඞ්ඛාර යන අඞ්ග දෙක අතීත කාලයකට අයත් ය. ජාති - ජරා මරණ යන අඞ්ග දෙක අනාගත කාලයට අයත් ය. විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා - තණ්හා - උපාදාන - භව යන අඞ්ග අට වර්තමාන කාලයට අයත් ය. භව වශයෙන් කියත හොත් අවිජ්ජා - සඞ්ඛාර දෙක අතීත භවයට අයත් ය. ජාති ජරාමරණ යන දෙක අනාගත භවයට අයත් ය. මැද අඞ්ග අට වර්තමාන භවයට අයත් ය.

යම් කිසිවකු මහා සාගරයෙන් වතුර ටිකක් අතට ගෙන, එයින් මුළු මහ සයුරෙහි ම ජලය ලුණු රස බව දක්වන්නාක් මෙන් තථාගතයන් වහන්සේ අවිජ්ජාපච්චයා සඞ්ඛාරා යනාදීන් වර්තමාන භවය සම්පූර්ණයෙන් දැක්වීම් වශයෙන් කොනක්නැති සකල සංසාරය ම දක්වා වදාළ සේක. එක් භවයක් සම්පූර්ණ කොට දේශනය කිරීමේ දී ඒ භවයේ හේතු ඵල දෙක ද දැක්විය යුතු ය. අවිජ්ජා - සඞ්ඛාර යන අඞ්ග දෙක පටිච්ච සමුප්පාදයට එකතු කොට ඇත්තේ වර්තමාන භවය ඇති වීමේ හේතුව දැක්වීම පිණිස ය. ජාති ජරා මරණ දෙක එකතු කර ඇත්තේ වර්තමාන භවයෙන් වන අනාගත ඵලය දැක්වීම පිණිස ය.

මෙහි තථාගතයන් වහන්සේ විසින් අතීත හේතු වදාරා ඇත්තේ, සත්ත්වයා ඉබේ ම ඇති වුණා ය යන දෘෂ්ටිය හා දෙවියන් විසින් සත්ත්වයා මැවුවාය යන දෘෂ්ටිය නැති කිරීම පිණිස ය. අනාගත ඵල දක්වා ඇත්තේ, මරණින් මතු ඉපදීමක් නැත යන දෘෂ්ටිය නැතිකිරීම පිණිස ය හේතු ඵල පරම්පරාව වදාරා ඇත්තේ, ආත්ම දෘෂ්ටිය නැති කරනු පිණිස ය.

අඞ්ග දොළොස

අවිද්‍යාව - සංස්කාරය - විඥානය - නාමරූපය - ෂඩායතනය - ස්පර්ශය - වේදනාවය - තෘෂ්ණාවය - උපාදානය - භවය - ජාතිය - ජරාමරණය කියා ප්‍ර‍තීත්‍ය සමුත්පාදාඞ්ග දොළොසකි. ශෝකාදි පස සැමට ම ඇති නො වන බැවින් ප්‍ර‍තීත්‍ය සමුත්පාදයේ අඞ්ග වශයෙන් නො ගනු ලැබේ.

සංක්ෂේප සතර

මේ පටිච්ච සමුප්පාදාඞ්ග දොළොස කොටස් සතරකට බෙදෙන්නේ ය. ඒ කොටස් සංක්ෂේප නාමයෙන් හඳුන්වනු ලැබේ.

අවිද්‍යා-සංස්කාර යන අඞ්ග දෙක එක් සංක්ෂේපයකි.

විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා යන පස එක් සංක්ෂේපයකි.

තණ්හා - උපාදාන - භව යන තුන එක් සංක්ෂේපයකි.

ජාති-ජරාමරණ යන දෙක එක් සංක්ෂේපයකි.

සන්ධි තුන.

අතීත භවයට අයත් සඞ්ඛාරයටත් වර්තමාන භවයට අයත් විඤ්ඤාණයටත් අතර එක් සන්ධියකි.

වර්තමාන භවයේ වේදනාවටත් තණ්හාවටත් අතර එක් සන්ධියෙකි.

භවයටත් ජාතියටත් අතර එක් සන්ධියකි.

මෙසේ මෙහි සන්ධි තුනක් ඇත්තේ ය. සන්ධි තුනක් වන කල්හි කොටස් සතරක් වන්නේ ය.

ආකාර විස්ස.

පටිච්ච සමුප්පාදාඞ්ගයන් ගෙන් අවිජ්ජා - සඞ්ඛාර දෙක අතීත භවයට අයත් හේතු ය. අවිජ්ජා සඞ්ඛාරයන් ඇති තැන තණ්හා - උපාදාන - භව යන අඞ්ග තුන ද වන්නේ ය. අවිජ්ජා - සඞ්ඛාර දෙක කී කල්හි ඒ තුනත් ගැනෙන බැවින් පටිච්ච සමුප්පාද පාළියෙහි ඒවා මතු කොට වදාරා නැත. එහෙත් අවිජ්ජා - සඞ්ඛාර - තණ්හා - උපාදාන - භව යන පස ම අතීත භවයට අයත් හේතු වශයෙන් ගත යුතු ය. වර්තමාන භවයෙහි ඇති වන විඤ්ඤාණ - නාම රූප - සළායතන - ඵස්ස - වේදනා යන මේ අඞ්ග පස අතීත භවයට අයත් හේතූන්ගේ ඵලයෝ ය. පටිච්ච සමුප්පාද පාළියෙහි එන තණ්හා - උපාදාන - භව යන තුන අනාගත භවය ඇති කරන වර්තමාන භවයේ හේතූහු ය. තණ්හා - උපාදාන - භවයන් ඇත හොත් අවිද්‍යා සංස්කාර ද ඇත්තේ ය. එබැවින් තෘෂ්ණා-උපාදාන - භව - අවිද්‍යා - සංස්කාර යන පස ම වර්තමාන හේතු වශයෙන් ගනු ලැබේ. ඒ හේතු පස නිසා අනාගතයෙහි ජාතිජරාමරණ ඇති වන බව පටිච්චසමුප්පාද පාළියෙන් කියැ වේ. ජාති - ජරා මරණ යනුවෙන් කියැවෙන්නේ විඤ්ඤාණ-නාමරූප-සළායතන-ඵස්ස-වේදනා යන අඞ්ග පස ය.

අවිජ්ජා - සඞ්ඛාර - තණ්හා - උපාදාන - භව යන මේ පස අතීත හේතු ය.

විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා යන මේ පස වර්තමාන ඵල ය.

තණ්හා - උපාදාන - භව - අවිජ්ජා - සඞ්ඛාර යන පස වර්තමාන හේතු ය.

විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා යන පස අනාගත ඵල ය.

මේ ධර්ම විස්සට ආකාර විස්ස යයි කියනු ලැබේ.

අතීත භවයේ හේතු පස නිසා වර්තමාන භවයේ ඵල පස ඇති වේ. වර්තමාන භවයෙහි නැවත ඇති වන හේතු පස නිසා අනාගත භවයට අයත් ඵල පස ඇති වන්නේ ය. අනාගත භවයෙහි ද නැවත තණ්හා උපාදානාදිය ඇති වීමෙන් ඒවායෙනි නැවතත් භවයක් ඇති කරන්නේ ය. මෙසේ සංසාරය නො සිඳී පවත්නේ ය. හේතුවෙන් ඵලයත් නැවත හේතුවත් නැවත එයින් ඵලයත් ඇති වන බැවින් මේ හේතුඵල පරම්පරාව චක්‍ර‍යක් වැනි ය. එබැවින් මේ හේතු ඵල පරම්පරාවට සංසාර චක්‍ර‍ය යි කියනු ලැබේ.

වෘත්ත තුන

මෙහි වෘත්ත තුනක් ඇත්තේ ය. වෘත්තය යි කියනුයේ නැවත නැවත පෙරළී එන දෙයට ය. මෙහි අවිජ්ජා - තණ්හා - උපාදාන යන අඞ්ග තුන ක්ලේශ වෘත්තය ය. කර්ම භවය - සංස්කාරය කර්ම වෘත්තය ය. උත්පත්ති භවය විඥානය නාමරූපය ෂඩායතනය ඵස්සය වේදනාව ය ජාතිය ජරාමරණය යන මේවා විපාක වෘත්තය ය. ක්ලේශයන් නිසා කර්ම ඇති වේ. කර්ම නිසා විපාක ඇති වේ. විපාකය නිසා නැවත ක්ලේශයන් ඇති වේ. මෙසේ මේ ක්ලේශ කර්ම විපාක යන තුන පෙරළීමෙන් සංසාරය නො සිඳී පවතී.

මූල දෙක

අවිද්‍යාව මේ සංසාර චක්‍ර‍යාගේ එක් මූල ධර්මයෙකි. තෘෂ්ණාව එක් මූල ධර්මයෙකි. මේ හේතුඵල පරම්පරාව චක්‍ර‍යක් මෙන් පවත්නේ වී නමුත් අවිද්‍යා තෘෂ්ණා දෙක නැති කළ හොත් සංසාර චක්‍ර‍ය සිඳෙන්නේ ය. ඒ දෙක නැති කිරීමෙන් මිස අන් ක්‍ර‍මයකින් සංසාර චක්‍රයෙන් නො මිදිය හැකි ය. එබැවින් අවිද්‍යා තෘෂ්ණා දෙක මේ චක්‍රයේ මූල ධර්මයෝ වෙති. ප්‍ර‍ධාන ධර්මයෝ වෙති. නුවණැත්තෝ ප්‍ර‍තිපත්තියෙන් අවිද්‍යා තෘෂ්ණාවන් නසා සංසාර චක්‍රයෙන් මිදී නිවනට පැමිණෙන්නාහ.

අවිද්‍යාව මුල් කොට ප්‍ර‍තීත්‍ය සමුත්පාදය දේශනය කර තිබීමෙන් සංසාරයේ පටන් ගැනීම අවිද්‍යාව යි නො ගත යුතු ය. මෙය ලෝකයේ මුල හෙවත් පටන් ගැනීම දක්වන දේශනයක් නො වේ. මේ දේශනයෙන් දක්වන්නේ සංසාරය පවත්නා ක්‍ර‍මය ය. අනාගතයටත් මේ චක්‍ර‍ මෙසේ ම පවත්නේ ය. අතීතයේත් එසේ ම පැවැත්තේ ය. අතීතයෙහි මේ සංසාර චක්‍ර‍ය නො පැවති කාලයක් නැත. එබැවින් මෙහි පටන් ගැනීම වූ මුලක් නැති බව දත යුතු ය.

5. ප්‍ර‍ස්ථාන ක්‍ර‍මය

අනිකක් ඇතිවීමට උපකාර වන දෙයට “ප්‍ර‍ත්‍යය” යි කියනු ලැබේ. අනික් දෙයක් ඇති කරන දෙය “ප්‍ර‍ත්‍යය” යි කිව ද වරද නැත. අනිකක උපකාරයෙන් ඇති වූ දෙයට “ප්‍ර‍ත්‍යයෝත්පන්නය” යි කියනු ලැබේ. අනික් දෙයකින් ඇති කරන ලද දෙය “ප්‍ර‍ත්‍යයෝත්පන්නය” යි කීම ද සුදුසු ය. ගිනිකූර අග රඳවා ඇති ද්‍ර‍ව්‍යයෙහිත් ගිනි පෙට්ටියේ ආලේප කොට ඇති ද්‍ර‍ව්‍යයෙහිත් උපකාරයෙන් ගින්න ඇති වේ. ගින්න ඇති වීමට උපකාර වූ නැතහොත් ගින්න නිපදවූ ගිනි කූරෙහි හා ගිනි පෙට්ටියෙහි ආලේප කොට ඇති ද්‍ර‍ව්‍ය දෙවර්ගය ප්‍ර‍ත්‍යය ය. ගින්න ප්‍ර‍ත්‍යයෝත්පන්නය ය. මෙසේ ප්‍ර‍ත්‍යය-ප්‍ර‍ත්‍යයෝත්පන්න දෙක වෙන ම හැඳින ගත යුතු ය.

ගින්න ඇති වීමට ගිනි කූරෙහි ආලේප කළ ද්‍ර‍ව්‍යය උපකාර වන්නේ එක් ආකාරයකිනි. ගිනි පෙට්ටියේ ආලේප කර ඇති ද්‍ර‍ව්‍යය උපකාර වන්නේ අන් ආකාරයකිනි. ගිනි කූරේ බෙහෙත් හා ගිනි පෙට්ටියේ බෙහෙත් ගින්න ඇති වීමට උපකාර වන්නේ එක් ආකාරයකින් ම නම්, ඒ දෙකින් එකකින් ම ගින්න ඇති විය හැකි ය. එසේ නොවෙන්නේ ගින්න ඇති වීමට ඒ දෙකින් වෙන් වෙන් වූ ආකාර ඇති, උපකාර දෙකක් වුවමනා බැවිනි. ගිනි පෙට්ටියෙහිත් ගිනි කූරෙහිත් ප්‍ර‍ත්‍යය වන ආකාර දෙකක් ඇතුවාක් මෙන් ම ලෝකයෙහි ඇති අනේකප්‍ර‍කාර වස්තූන්හි තවත් දේවලට උපකාර වන නොයෙක් ආකාර ඇති බව දත යුතු ය. ඒ උපකාර වන ආකාර විශේෂයන්ට ‘ප්‍ර‍ත්‍යය ශක්තිය’ යි කියනු ලැබේ.

චිත්තය - චෛතසිකය - රූපය යන මේ පරමාර්ථ ධර්මයෝ ප්‍ර‍ත්‍යයෙන් හටගන්නෝ ය. නිර්වාණය හා ප්‍ර‍ඥප්තිය ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා ඒවා නොවේ. ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා වූ ද, ප්‍ර‍ත්‍යයෙන් නො හට ගන්නා වූ ද සියල්ලෙහි ප්‍ර‍ත්‍යය ශක්ති ඇත්තේ ය. යම් කිසි ප්‍ර‍ත්‍යය ශක්තියක් නැති කිසි ම ධර්මයක් නැත්තේ ය. එක් ධර්මයක ඇත්තේ එක ම ප්‍ර‍ත්‍යය ශක්තියක් නොවේ. සමහර ධර්මවල බොහෝ ප්‍ර‍ත්‍යය ශක්ති ඇත්තේය. සමහර ධර්මයක ප්‍ර‍ත්‍යය ශක්ති ටිකක් ඇත්තේ ය.

අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද, කාලත්‍රයෙන් මුක්ත වූ ද පරමාර්ථ වශයෙන් හා ප්‍ර‍ඥප්ති වශයෙන් ද ඇත්තා වූ සකල ධර්ම සමූහයෙහි ප්‍ර‍ත්‍යය ශක්ති සූවිස්සක් ඇත්තේ ය. ඒ ප්‍ර‍ත්‍යය ශක්තීන් අනුව ඉහත කී ධර්ම සමූහය ප්‍ර‍ත්‍යය නාමයෙන් පට්ඨාන මහාපකරණයෙහි සූවිසි කොටසකට බෙදා දක්වා තිබේ. ඒ කොටස් සූවිස්සට “සූවිසි ප්‍ර‍ත්‍යය ය” යි කියනු ලැබේ. පට්ඨාන පාළියෙහි සූවිසි ප්‍ර‍ත්‍යය දක්වා තිබෙන පාඨය මෙසේය:-

මෙය කට පාඩම් කර ගන්න.

හේතු පච්චයෝ ආරම්මණ පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නීස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්ඡාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයේ ඣාන පච්චයේ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයේ විප්පයුත්ත පච්චයෝ අත්ථි පච්චයෝ නත්ථි පච්චයේ විගත පච්චයෝ අවිගත පච්චයෝති.

ප්‍ර‍ත්‍යය සූවිස්ස

  1. හේතු ප්‍ර‍ත්‍යය
  2. ආරම්මණ ප්‍ර‍ත්‍යය
  3. අධිපති ප්‍ර‍ත්‍යය
  4. අනන්තර ප්‍ර‍ත්‍යය
  5. සමනන්තර ප්‍ර‍ත්‍යය
  6. සහජාත ප්‍ර‍ත්‍යය
  7. අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය
  8. නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය
  9. උපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය
  10. පුරේජාත ප්‍ර‍ත්‍යය
  11. පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය
  12. ආසේවන ප්‍ර‍ත්‍යය
  13. කර්ම ප්‍ර‍ත්‍යය
  14. විපාක ප්‍ර‍ත්‍යය
  15. ආහාර ප්‍ර‍ත්‍යය
  16. ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය
  17. ධ්‍යාන ප්‍ර‍ත්‍යය
  18. මාර්ග ප්‍ර‍ත්‍යය
  19. සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය
  20. විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය
  21. අස්ති ප්‍ර‍ත්‍යය
  22. නාස්ති ප්‍ර‍ත්‍යය
  23. විගත ප්‍ර‍ත්‍යය
  24. අවිගත ප්‍ර‍ත්‍යය

6 වන පාඩම

(1) හේතු ප්‍ර‍ත්‍යය.

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය. ලෝභ - දෝස - මෝහ - අලෝභ - අදෝස - අමෝහ යන මේ ධර්ම සය හේතු ප්‍ර‍ත්‍යය ය. සහේතුක සිත් එක් සැත්තෑවය, මෝහ මූලයෙහි යෙදෙන මෝහය හැර චෛතසික දෙපනස ය, සහේතුක චිත්තජ රූපයෝ ය, සහේතුක ප්‍ර‍තිසන්ධි චිත්තය හා උපදනා කර්මජ රූපයෝ ය යන මොහු හේතු ප්‍ර‍ත්‍යයා ගේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

මෝහ මූල චිත්තයෙහි මෝහය අත හැරීමෙන් චෛතසික ගණන අඩු නො වන්නේ ලෝභ මූල දෝෂ මූල සිත්වල යෙදෙන මෝහය ගැනෙන හෙයිනි. මෝහ මූල චිත්තයෙහි මෝහය මෝහ මූල චිත්තයට හා එය හා යෙදෙන මෝහයෙන් අන්‍ය චෛතසිකයන්ටත් හේතුභාවයෙන් ප්‍ර‍ත්‍යය වේ. මෝහයට හේතුභාවයෙන් ප්‍ර‍ත්‍යය වන තවත් හේතු ධර්මයක් එහි නැති බැවින් මෝහ මූලයේ මෝහය හේතු ප්‍ර‍ත්‍යයෝත්පන්න නො වේ. හේතු දෙක තුන ඇති සිත්වල හේතු ධර්මයෝ ප්‍ර‍ත්‍යයෝත්පන්න වෙති. එක්ව ඇති වන හේතු ධර්මයන්ගෙන් එකක් අනිකට හේතු භාවයෙන් ප්‍ර‍ත්‍යය වන බැවිනි.

(2) ආරම්මණ ප්‍ර‍ත්‍යය

ආරම්මණ භාවයෙන් උපකාරක ධර්ම ආරම්මණ ප්‍ර‍ත්‍යය ය. අරමුණක් නො ගෙන චිත්ත චෛසිකයන්ට නූපදිය හැකි ය. එබැවින් සෑම අරමුණක් ම චිත්ත චෛතසිකයන් ගේ ඉපදීමට උපකාරයෙකි.

එකුන් අනූ චිත්තය, චෛතසික දෙපනස, රූප අට විස්ස, නිර්වාණය, ප්‍ර‍ඥප්තිය යන සියල්ල ම ආරම්මණ ප්‍ර‍ත්‍යය ය. ආරම්මණ ප්‍ර‍ත්‍යය නො වන දෙයක් නැත.

එකුන් අනූ චිත්තය හා චෛතසික දෙපනස ආරම්මණ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

(3) අධිපති ප්‍ර‍ත්‍යය.

අධිපති භාවයෙන් උපකාර වන ධර්මය අධිපති ප්‍ර‍ත්‍යය ය. අධිපති භාවය යනු අන්‍යයන් තමාට අනුකූල කරවන ස්වභාවය ය. ඇතැම් ධර්මයක තවත් ධර්මයන් තමාට අනුකූල කරවන ස්වභාවයක් ඇත්තේ ය. ඒ ධර්මයනට මෙහි අධිපති නාමය ව්‍යවහාර කරනු ලැබේ. “ආරම්මණාධිපතිය, සහජාතාධිපතිය” කියා අධිපති ප්‍ර‍ත්‍යය දෙවැදෑරුම් වේ. ඇතැම් අරමුණක සිත් ඇද ගන්නා ස්වභාවයක් ඇත්තේ ය. ඒ නිසා ඒ අරමුණට ඇදී නැමී බොහෝ සිත් උපදී. ඒ සිත් ඇදගන්නා ස්වභාවය ආරම්මණයෙහි ඇති අධිපති ස්වභාවය ය.

ආරම්මණාධිපති ප්‍ර‍ත්‍යය.

ගරු කළ යුතු ඉෂ්ට නිෂ්පන්න රූප අටළොස ය, ද්වේෂ මූල මෝහ මූල දුඃඛ සහගත කාය විඤ්ඤාණය යන මේ සිත් හැර ඉතිරි සිත් අසූහතර ය, දෝස - ඉස්සා - මච්ඡරිය - කුක්කුච්ච - විචිකිච්ඡා චෛතසික හැර ඉතිරි චෛතසික සත්සාළිස ය, නිර්වාණය යන මේ ධර්මයෝ ආරම්මණාධිපති ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය.

ඒ ධර්ම ගරුකොට අරමුණු කරන ලෝභමූල සිත් අට ය, මහා කුසල් සිත් අට ය, මහා ක්‍රියා ඥාන සම්ප්‍ර‍යුක්ත සිත් සතර ය, ලෝකෝත්තර සිත් අට ය යන සිත් විසි අට ය, දෝස - ඉස්සා - මච්ඡරිය - කුක්කුච්ච - විචිකිච්ඡා - කරුණා - මුදිතා හැර ඉතිරි චෛතසික පන්සාළිස ය යන මොවුහු ආරම්මණාධිපති ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

සහජාතාධිපති ප්‍ර‍ත්‍යය.

ඡන්ද - චිත්ත - විරිය - වීමංස යන මේ අධිපති ධර්ම සතර තමා හා සම්ප්‍ර‍යුක්තයනට අධිපති භාවයෙන් ප්‍ර‍ත්‍යය යන බැවින් සහජාතාධිපති නම් වේ. එක් වරක දී අධිපති වන්නේ මේ සතරින් එකකි. දෙක තුනක් එකවර අධිපති නො වේ.

ද්විහේතුක ත්‍රිහේතුක ජවන චිත්තයෝ ය, ඡන්දය විරියය - වීමංසය යන මොවුහු තම තමා අධිපති වන අවස්ථාවෙහි අධිපති ප්‍ර‍ත්‍යය වේ.

ඒ ඒ අවස්ථාවෙහි අධිපති වන ධර්මය හැර දෙපනස් සාධිපති ජජවනය ය, විචිකිච්ඡාවෙන් අන්‍ය චෛතසිකයෝ ය, ඒ සිත්වලින් උපදනා රූපයෝ ය යන මොවුහු සහජාතාධිපති ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

4.5 අනන්තර - සමනන්තර ප්‍ර‍ත්‍යයෝ

සත්ත්වයන් කෙරෙහි පවත්නා චිත්ත පරම්පරාවෙහි පසු පසු සිත් ඇතිවන්නේ පළමු පළමු සිත් නිසා ය. පූර්ව පූර්ව සිත් නො වී නම් පසු පසු සිතත් ද ඇති නො වන්නේ ය. සැම සිතක ම තමා නිරුද්ධ වනු සමග ම ස්ථානය සිස්වන්නට නො දී අතරක් නො දැනෙන සැටියට තවත් සිතක් ඉපදීමට උපකාර වන ස්වභාවයක් ඇත්තේ ය. ඒ නිසා එක් සිතක් නිරුද්ධ වනු සමග ම තවත් සිතක් උපදී. නිරුද්ධ වන පූර්ව පූර්ව චිත්තයන්හි ඇති තමන් ළඟින් ම තවත් සිතක් උපදවන ශක්තිය අනන්තර ශක්තිය ය. අනන්තර ශක්තියෙන් උපදකාරවන ධර්මය අනන්තර ප්‍ර‍ත්‍යය නම් වේ. තමාට අනතුරු ව උපදනා සිත තැනට සුදුසු පරිදි ඉපදීමට උපකාරවන ස්වභාවයක් ද නිරුද්ධ වන සිත්වල ඇත්තේ ය. එයට සමනන්තර ශක්තිය යි කියනු ලැබේ. සමනන්තර ශක්තියෙන් උපකාර වන ධර්මය සමනන්තර ප්‍ර‍ත්‍යයය. අනන්තර සමනන්තර ශක්ති දෙක ම එක ම සිතේ ඇත්තේ ය. එබැවින් අරහන්ත චුතිය හැර නිරුද්ධ වන්නා වු සැම සිතක් ම සැම චෛතසිකයක් ම අනන්තර ප්‍ර‍ත්‍යය ද වේ. සමනන්තර ප්‍ර‍ත්‍යය ද වේ. අරහන්ත චුතිය සහිත වූ පසු පසුව උපදනා සිත් හා චෛතසික සියල්ල අනන්තර ප්‍ර‍ත්‍යයෝත්පන්න ද සමනන්තර ප්‍ර‍ත්‍යයෝත්පන්න ද වේ.

7 වන පාඩම

6. සහජාත ප්‍ර‍ත්‍යය

තමා උපදනා කල්හි තවත් ධර්මයන්හට තමා හා එක්ව ඉපදීමට උපකාරවන ධර්මය සහජාත ප්‍ර‍ත්‍යය ය.

ඔවුනොවුන්ටත් ඔවුනොවුන්ට හා චිත්තජ රූප ප්‍ර‍තිසන්ධිකර්මජ රූපවලටත් ප්‍ර‍ත්‍යය වනව එකුන් අනූ චිත්තය හා චෛතසික දෙපනසය, ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍ර‍ත්‍යය වන මහාභූත සතර ය, ඔවුනොවුන්ට ප්‍ර‍ත්‍යය වන පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයන්ට ප්‍ර‍ත්‍යය වන හෘදය වස්තුවය යන මේවා සහජාත ප්‍ර‍ත්‍යය ධර්මයෝය.

ඔවුනොවුන්ගේන ප්‍ර‍ත්‍යය ලබන එකුන් අනූචිත්තය හා චෛතසික දෙපනස ය යන නාමස්කන්ධයෝ ය, ඔවුනොවුන්ගෙන් උපකාර ලබන උපාදාය රූප සහිත මහාභූතයෝ ය. හෘදය වස්තුවෙන් ප්‍ර‍ත්‍යය ලබන පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයෝ ය, පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයන්ගෙන් ප්‍ර‍ත්‍යය ලබන හෘදයවස්තුව ය යන මොවුහු සහජාත ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

7. අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය.

තමා යම් කිසි ධර්මයකට උපකාර වෙමින් ඒ ධර්මයෙන් තමා ද උපකාර ලබන ධර්මය අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය ය. ඔවුනොවුන්ට උපකාර වන එකුන් අනූ චිත්තය හා දෙපනස් චෛතසිකයෝ ය, ඔවුනොවුන්ට උපකාර වන මහාභූත සතර ය, ඔවුනොවුන්ට උපකාර වන පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයන් හා හෘදය වස්තුව ය යන මොවුහු අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය. අන්‍යොන්‍ය වශයෙන් උපකාර ලබන ඒ ධර්මයෝ ම අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

8. නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය.

චිත්‍ර‍ රූපාදියට කරදාසි ආදිය උපකාර වන්නාක් මෙන් තවත් ධර්මයකට පිහිටා සිටීමට උපකාර වන ධර්‍මය නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය ය. නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය සහජාත නිශ්ශ්‍ර‍ය - පුරේජාත නිශ්ශ්‍ර‍ය වශයෙන් දෙවැදෑරුම් වේ. ප්‍ර‍ත්‍යයෝත්පන්නය හා එකට ම උපදිමින් නිශ්ශ්‍ර‍ය වන ධර්ම සහජාත නිශ්ශ්‍ර‍ය නම් වේ. තමා පළමු ඉපද පසුව උපදනා ධර්මයන්ට නිශ්ශ්‍ර‍ය වන ධර්ම පුරේජාත නිශ්ශ්‍ර‍ය නම් වේ.

සහජාත නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යය ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ සහජාත ප්‍ර‍ත්‍යයෙහි මෙන් දත යුතු.

පුරේජාත නිශ්ශ්‍ර‍යය ද, වස්තු පුරේජාත නිශ්ශ්‍ර‍ය වස්ත්වාරම්මණ පුරේජාත නිශ්ශ්‍ර‍ය වශයෙන් දෙවැදෑරුම් වේ. ප්‍ර‍වෘත්ති කාලයෙහි චක්ෂුරාදි වස්තු සය වස්තු පුරේජාත නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය වේ. අරූප විපාක හැර ඉතිරි සිත් හා චෛතසික ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය. (වස්ත්වාරම්මණ පුරේජාත ප්‍ර‍ත්‍යය දුරවබෝධ බැවින් නො දක්වනු ලැබේ.)

9. උපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය

යම්කිසි ධර්මයක ඇතිවීමට ඉතා ම උපකාරක ධර්මය උපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය ය. ආරම්මණෝපනිශ්ශ්‍ර‍ය - අනන්තරෝපනිශ්ශ්‍ර‍ය - ප්‍ර‍කෘතෝපනිශ්ශ්‍ර‍ය යි කියා නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය තුන් ආකාර වේ.

ලෝකයා විසින් හොඳ දෙය කියා ගරු කරන ආරම්මණය ආරම්මණෝපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය ය. එහි ප්‍ර‍ත්‍ය වන ධර්ම හා ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්ම ආරම්මණාධිපතියෙහි මෙනි.

සිතක් උපදින්නට කලින් එය ළඟින් ම ඉපද නිරුද්ධ වූ සිත අනන්තරෝපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය ය. ආරම්මණාදි ප්‍ර‍ත්‍යයන් ඇතත් එය නැතිව සිතකට නූපදිය හැකි බැවින් සමීපයේ ම නිරුද්ධ වූ සිත අනතුරුව ඇතිවන සිතට බලවත් උපකාරයෙකි. අනන්තරෝප-නිශ්ශ්‍රයෙහි ප්‍ර‍ත්‍යය ප්‍ර‍ත්‍යයෝත්පන්න අනන්තර ප්‍ර‍ත්‍යයෙහි මෙනි.

එක් සන්තානයක ඇති වූ රාගාදි වූ ද, ශ්‍ර‍ද්ධාදි වූ ද, ධර්ම හා සැප දුක් ආදිය ද ඒ සන්තානයෙහි පසු කාලයේ බොහෝ චිත්ත චෛතසිකයන් ඇති වීමට විශේෂ හේතුවක් වේ. ඒ රාගාදි ධර්ම ප්‍ර‍කෘතෝපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය ය.

එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය, ඇතැම් ප්‍ර‍ඥප්තීහු ය යන මොවුහු ප්‍ර‍කෘතෝපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය වන ධර්මයෝ ය. ඒවා නිසා ඇතිවන එකුන් අනූ චිත්තය හා චෛතසික දෙපනස ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

10. පුරේජාත ප්‍ර‍ත්‍යය

කලින් ඉපද පසුව උපදනා ධර්මයන්ට ප්‍ර‍ත්‍යය වන ධර්මය පුරේජාත ප්‍ර‍ත්‍යය ය. වස්තු පුරේජාත ප්‍ර‍ත්‍යයය-වස්ත්වාරම්මණ පුරේජාත ප්‍ර‍ත්‍යයය - ආරම්මණ පුරේජාත ප්‍ර‍ත්‍යයය කියා පුරේජාත ප්‍ර‍ත්‍යය තුන් ආකාර වේ. එයින් වස්තුපුරේජාත ප්‍ර‍ත්‍යය වස්තුපුරේජාත නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය මෙනි. වස්ත්වාරම්මණ පුරේජාත ප්‍ර‍ත්‍යය වස්ත්වාරම්මණ පුරේජාත නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය මෙනි. කලින් ඉපද පසුව උපදනා චිත්ත චෛතසිකයන්ට ප්‍ර‍ත්‍යය වන නිෂ්පන්නරූප අටළොස ආරම්මණ පුරේජාත ප්‍ර‍ත්‍යය ය. පඤ්චවෝකාර භූමියෙහි උපදනා කාම සිත් සිවුපනස ය, අභිඥා සිත් දෙක ය, අප්‍ර‍මාණ්‍ය හැර චෛතසික පනස ය යන මොවුහු ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

11. පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය

කලින් ඉපද පවත්නා වූ රූප ධර්මයන්ට අනුබල දෙන පසුව උපදනා චිත්ත චෛතසිකයෝ පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය ය.

පඤ්චවෝකාර භූමියෙහි උපදනා අරූප විපාකයන්ගෙන් අන්‍ය වූ ප්‍ර‍ථම භවාඞ්ගාදි පසු පසුව උපදනා සිත් පස් අසූව ය- චෛතසික දෙපනස ය යන මොවුහු පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය. ප්‍ර‍තිසන්ධ්‍යාදි පළමු පළමු සිත් සමග ඉපද ස්ථිතියට පැමිණි රූපයෝ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය. මේ ප්‍ර‍ත්‍යය, ප්‍ර‍ත්‍යයෝත්පන්නය උපදවන ප්‍ර‍ත්‍යයක් නොව, එයට අනුබලදීම පමණක් කරන ප්‍ර‍ත්‍යයෙකි.

12. ආසේවන ප්‍ර‍ත්‍යය

පළමු ආලේප කළ සායම් තමාගේ ස්වභාවය ගෙන පසුව ආලේප කරන සායමට පැහැපත් වීමට උපකාර වන්නාක් මෙන් තමාට පසුව උපදනා චිත්ත චෛතසිකයන්ට තමාගේ ස්වභාවය ගෙන බලවත් වීමට උපකාර වන පූර්ව පූර්ව චිත්තයෝ ආසේවන ප්‍ර‍ත්‍යය ය. ආසේවනය ඇත්තේ ජවන චිත්තයන්හි ය.

අන්තිම ජවනත් ඵල ජවනත් හැර, පළමු පළමු උපදනා ලෞකික ජවන් සත්සාළිස හා චෛතසික දෙපනස ආසේවන ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය. ප්‍ර‍ථම ජවනය හා ඵලජවනයන් හැර, පසු පසුව උපදනා ජවන් සිත් හා චෛතසිකයෝ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

8 වන පාඩම

13. කර්ම ප්‍ර‍ත්‍ය

ඒ ඒ ක්‍රියා සිදු කිරීමේ උත්සාහය වූ චේතනා චෛතසිකය කර්මප්‍ර‍ත්‍යය නම් වේ. සහජාත කර්ම ප්‍ර‍ත්‍යය නානාක්ෂණික කර්මප්‍ර‍ත්‍යය යි කර්ම ප්‍ර‍ත්‍යය දෙකකි. චේතනාව සර්වචිත්ත සාධාරණ චෛතසිකයෙකි. එය ඇති වන්නේත් සිතත් තවත් චෛතසිකත් රූප කොටසකුත් උපදවා ගෙන ය. එසේ ඇති වන්නා වූ චේතනාවට එය හා උපදනා ධර්මයන්ට ප්‍ර‍ත්‍යය වන බැවින් සහජාත කර්මප්‍ර‍ත්‍යය යි කියනු ලැබේ. එකුන් අනූ චිත්තයන්හි ඇති චේතනා එකුන් අනූව ම සහජාත කර්ම ප්‍ර‍ත්‍යය වේ. එකුන් අනූ චිත්තය ය, චේතනාව හැර ඉතිරි චෛතසික එක් පනස ය, චිත්තජ රූප හා ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයෝ ය යන මොවුහු සහජාත කර්ම ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

පසු කාලයේදී තමාගේ විපාකය ඇති කරන කුශලාකුශල චේතනා රාශිය තවත් ක්‍ර‍මයකින් කියත හොත් අතීත කුශලාකුශල චේතනා තෙතිස නානාක්ෂණික කර්ම ප්‍ර‍ත්‍යය ය. විපාක සිත් සතිස ය, චෛතසික අටතිස ය, කර්මජ රූප අටොළොස ය යන මොවුහු නානාක්ෂණික කර්ම ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය. ප්‍ර‍ත්‍යය ඇතිවන ක්ෂණය හා ප්‍ර‍ත්‍යයෝත්පන්නය ඇති වන ක්ෂණය වෙනස් බැවින් මේ ප්‍ර‍ත්‍යයට නානාක්ෂණික කර්ම ප්‍ර‍ත්‍යය යි කියනු ලැබේ.

14. විපාක ප්‍ර‍ත්‍යය.

තමා නිරුත්සාහ ශාන්ත භාවයෙන් සිට, තමා හා උපදින ධර්මයන්ට ද නිරුත්සාහ ශාන්ත භාවයෙන් ඉපදීමට උපකාර වන ධර්මය විපාක ප්‍ර‍ත්‍යය ය. ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජ රූප ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයන්ට ද ප්‍ර‍ත්‍යය වන විපාක සිත් සතිස ය, චෛතසික අටතිස ය යන මොවුහු විපාක ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය.

ඔවුනොවුන්ගෙන් ප්‍ර‍ත්‍යය ලබන විපාක සිත් සතිස ය, චෛතසික අටතිස ය, විපාක චිත්තයන් විසින් උපදනා විඥප්ති රූපයන්ගෙන් අන්‍ය චිත්තජ රූපයෝ ය. ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයෝ ය යන මොවුහු විපාක ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

15. ආහාර ප්‍ර‍ත්‍යය.

ඇතැම් නාමරූපයන් උපදවන්නා වූ ද, කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් හටගන්නා වූ ද නාමරූප පරම්පරාවන්ට චිර කාලයක් පැවැත්මට අනුබල දෙන්නා වූ ද, ස්වභාවය ඇති නාමරූප, ආහාර ප්‍ර‍ත්‍යය නාමයෙන් හඳුන්වනු ලැබේ. ආහාර ප්‍ර‍ත්‍යයෙන් සිදු වන ප්‍ර‍ධාන දෙය, නාම-රූප පරම්පරාවන්ට අනුබල දීම ය. තවත් ක්‍ර‍මයකින් කියතහොත් සත්ත්වයාහට චිර කාලයක් ජීවත්වීමට අනුබල දීම ය.

නාමාහාර ප්‍ර‍ත්‍යය - රූපාහාර ප්‍ර‍ත්‍යයි ආහාර ප්‍ර‍ත්‍යය දෙකකි. ඵස්ස-චේතනා-විඤ්ඤාණ යන මේ ධර්ම තුන නාමාහාර ප්‍ර‍ත්‍යය ය. එකුන් අනූ චිත්තයය, චෛතසික දෙපනස ය, චිත්තජ රූපයෝ ය, ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයෝ ය යන මොවුහු නාමාහාර ප්‍ර‍ත්‍යයාගේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

කබලිංකාරාහාරය යි කියන භෝජනාදියෙහි ඇති ඕජාරූපය රූපාහාර ප්‍ර‍ත්‍යය ය. ආහාරයෙන් හටගන්නා රූප එහි ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

16. ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය.

ඉන්ද්‍රිය භාවයෙන් ඊශ්වර භාවයෙන් උපකාර වන ධර්මය ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය ය. සහජාතේන්ද්‍රිය ප්‍ර‍ත්‍යය පුරේජාතේන්ද්‍රිය ප්‍ර‍ත්‍යය - රූපජීවිතේන්ද්‍රිය ප්‍ර‍ත්‍යය යි ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය තුනෙකි.

චිත්තය - වේදනාව - ශ්‍ර‍ද්ධාව - වීර්‍ය්‍යය - ස්මෘතිය - ඒකාග්‍ර‍තාව - ප්‍ර‍ඥාව යන නාමේන්ද්‍රියයෝ සහජාත ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය. එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනසය, චිත්තජ රූපයෝ ය, ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයෝ ය යන මොවුහු එහි ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

චක්ඛු - සෝත - ඝාන - ජිව්හා - කාය යන ප්‍ර‍සාද රූප පස පුරේජාතින්ද්‍රිය ප්‍ර‍ත්‍යය ය. ද්විපඤ්චවිඥානය හා සර්වචිත්ත සාධාරණ චෛතසික සත එහි ප්‍ර‍ත්‍යයෝත්ත්පත්පන්නයෝ ය.

ජීවිතේන්ද්‍රිය රූපය රූප ජීවිතේන්ද්‍රිය ප්‍ර‍ත්‍යය ය. කර්මජ රූප කලාපයන්හි ජීවිතේන්ද්‍රිය රූපයෙන් අන්‍ය රූපයෝ එහි ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

17. ධ්‍යාන ප්‍ර‍ත්‍යය.

අරමුණ ගැනීමේ විශේෂෝත්සාහයක් ඇති විතර්කාදි ධර්ම ධ්‍යාන නම් වේ. විතර්කාදි ධර්මයන්ගේ ඒ අරමුණු ගැනීමේ විශේෂෝත්සාහය නිසා එයට අනුව තවත් ධර්මයෝ උපදිති. එසේ උපදනා වූ ධර්මයන්ගේ උත්පත්තියට හේතු වන බැවින් විතර්කාදියට ධ්‍යාන ප්‍ර‍ත්‍යය යි කියනු ලැබේ.

ද්විපඤ්චවිඥානයෙන් අන්‍ය වූ සිත් සැත්තෑනවයෙහි ඇති විතක්ක-විචාර-වේදනා-ප්‍රීති-ඒකග්ගතා යන ධ්‍යානාඞ්ග ධර්ම පස ධ්‍යාන ප්‍ර‍ත්‍යය ය. ද්විපඤ්ච විඥානයෙන් අන්‍ය සිත් එකුන් අසූව ය, චෛතසික දෙපනස ය, චිත්තජ ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයෝ ය යන මොවුහු ධ්‍යාන ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

9 වන පාඩම

18. මාර්ග ප්‍ර‍ත්‍යය

සුගති දුර්ගති නිර්වාණයන්ට පැමිණවීමේ ශක්ති විශේෂයෙන් සහජාත නාමරූපයන්ට ප්‍ර‍ත්‍යය වන ධර්මයෝ මාර්ග ප්‍ර‍ත්‍යය ය.

සහේතුක චිත්තයන්හි යෙදෙන ප්‍ර‍ඥා - විතර්ක - සම්මාවාචා - සම්මාකම්මන්ත - සම්මා ආජීව - විරිය - සති - ඒකග්ගතා - දිට්ඨි යන මාර්ගාඞ්ග ධර්ම නවය මාර්ග ප්‍ර‍ත්‍යය ය. සහේතුක සිත් එක් සැත්තෑව, චෛතසික දෙපනස, සහේතුක චිත්තජ රූප, සහේතුක ප්‍ර‍තිසන්ධි කර්මජ රූප යන මොවුහු මාර්ග ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

19. සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය.

අතරක් නො තිබෙන සේ මිශ්‍ර‍ත්වයට පැමිණීම් වශයෙන් උපකාරක ධර්මය සම්ප්‍ර‍යුක්ත ප්‍රත්‍යය ය. ඔවුනොවුන්ට ප්‍ර‍ත්‍යය වන එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය යන නාම ධර්මයෝ සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍ය ධර්මයෝ ය. ඔවුනොවුන්ගෙන් ප්‍ර‍ත්‍යය ලබන චිත්ත චෛතසික ධර්මයෝ එහි ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

20. විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය.

එකට ගැටී පවත්නේ වී නමුත් ඔවුනොවුන් මිශ්‍ර‍ නො වීම් වශයෙන් ප්‍ර‍ත්‍යය වන ධර්මය විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය ය. සහජාත විප්‍ර‍යුක්තය-පුරේජාත විප්‍ර‍යුක්තය-පශ්චාජ්ජාත විප්‍ර‍යුක්තය යි විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය තුනෙකි.

පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූපවිපාක-ද්විපඤ්චවිඤ්ඤාණ - අර්හන්තච්‍යුතිය යන මේවායින් අන්‍ය වූ සිත් පන් සැත්තෑව ය, චෛතසික දෙපනස ය, පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමාස්කන්ධයට ප්‍ර‍ත්‍යය වන හෘදය වස්තුව ය, හෘදය වස්තුවට ප්‍ර‍ත්‍යය වන පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයෝ ය යන මොවුහු සහජාත විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය.

චිත්තජ රූපයෝ ය, ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයෝ ය, හෘදය වස්තුවෙන් ප්‍ර‍ත්‍යය ලබන පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයෝ ය, පඤ්චවෝකාරප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයන්ගෙන් ප්‍ර‍ත්‍යය ලබන හෘදය වස්තුවය යන මොවුහු සහජාත විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

පුරේජාත විප්‍ර‍යුක්තය පුරේජාත ප්‍ර‍ත්‍යය මෙන් ද, පශ්චාජ්ජාත විප්‍ර‍යුක්තය පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය මෙන් ද, දත යුතු.

21. අස්ති ප්‍ර‍ත්‍යය

සමහර ධර්මයක ඇති බව ම තවත් ධර්මයක් ඇතිවීමේ කාරණය වේ. අස්ති භාවයෙන් උපකාරක ධර්මය අස්ති ප්‍ර‍ත්‍යය ය. සහජාතාස්ති ප්‍ර‍ත්‍යය ය, වස්තු පුරේජාතාස්ති ප්‍ර‍ත්‍යය ය, වස්ත්වාරම්මණ පුරේජාතාස්ති ප්‍ර‍ත්‍යය ය, ආරම්මණ පුරේජාතාස්ති ප්‍ර‍ත්‍යය ය, පශ්චාජ්ජාතාස්ති ප්‍ර‍ත්‍යය ය, ආහාරාස්ති ප්‍ර‍ත්‍යය ය, ඉන්ද්‍රියාස්ති ප්‍ර‍ත්‍යය යි අස්ති ප්‍ර‍ත්‍යය සත් වැදෑරුම් වේ. ඒ වායේ ප්‍ර‍ත්‍යය ප්‍ර‍ත්‍යයෝත්පන්න ඒ ඒ ප්‍ර‍ත්‍යයන් මෙන් ම දත යුතු.

22. නාස්ති ප්‍ර‍ත්‍යය

එක් දෙයක් ඇති තැන අනිකකට ඉඩක් නැත. එබැවින් යමක් නැති වීම එතැන අනිකක ඇති වීමට උපකාරයෙකි. නිරුද්ධවීම් වශයෙන් නැති වී යාමෙන් අනිකක ඇති වීමට උපකාර වන ධර්මය නාස්ති ප්‍ර‍ත්‍යය ය. එහි ප්‍ර‍ත්‍යය ප්‍ර‍ත්‍යයෝත්පන්නයන් අනන්තර ප්‍ර‍ත්‍යයෙහි මෙන් දත යුතු ය.

23, 24 විගතාවිගත ප්‍ර‍ත්‍යය දෙක

විගතත්වයෙන් හෙවත් තමා නැති වීමෙන් තමාගේ තැන අනිකකට පහළ වීමට උපකාර වන ධර්ම විගත ප්‍ර‍ත්‍ය ය. අවිගත භාවයෙන් හෙවත් විද්‍යමාන භාවයෙන අනිකක ඇතිවීමට උපකාර වන ධර්මය අවිගත ප්‍ර‍ත්‍යය ය. ධර්ම වශයෙන් හා ශක්ති වශයෙන් ද අස්ති - අවිගත දෙක්හි වෙනසක් නැත. එසේ ම නාස්ති - විගත දෙක්හි ද වෙනසක් නැත. වරක් දේශනය කළ කාරණය ම වෙනත් වචනවලින් සමහර තැනකදී දේශනය කිරීම තථාගතයන් වහන්සේගේ සිරිතකි. මෙයත් එබඳු තැනෙකි. එසේ කරන්නේ ඒ ඒ වචනවලින් කී කල්හි කාරණය තේරුම් ගන්නා පුද්ගලයන් අනුව ය.

එක් එක් ධර්මයෙක අනේක ප්‍ර‍ත්‍යය භාවය

මෙතෙකින් දක්වන ලද ප්‍ර‍ත්‍යය ප්‍ර‍ත්‍යයෝත්පන්නයන් විමසා බැලුව හොත් එක ම ධර්මය ප්‍ර‍ත්‍යය බොහෝ ගණනකට අයත් වී ඇති බවත්, එසේ ම ප්‍ර‍ත්‍යය බොහෝ ගණනක ප්‍ර‍ත්‍යයෝත්පන්නයන්ට අයත් වී ඇති බවත් පෙනෙනු ඇත. එයින් එක් පරමාර්ථ ධර්මයක අනේක ප්‍ර‍ත්‍යය ශක්ති ඇති බවත්, එක ම ධර්මය අනේක ප්‍ර‍ත්‍යය ශක්තීන්ගෙන් ප්‍ර‍ත්‍යය වන බවත්, එක් එක් ධර්මයක් ඇති වන්නේ ප්‍ර‍ත්‍යය බොහෝ ගණනකින් බවත් තේරුම් ගත යුතු ය.

සම්ප්‍ර‍යුක්ත ධර්මයන්ට හේතු ශක්තියෙන් ප්‍ර‍ත්‍යය වන ලෝභ චෛතසිකය හේතු ශක්තියෙන් සම්ප්‍ර‍යුක්ත ධර්මයන්ට ප්‍ර‍ත්‍ය වෙමින් ම සහජාත අන්‍යොන්‍ය සහජාත නිශ්ශ්‍ර‍ය සම්ප්‍ර‍යුක්ත අස්ති අවිගත යන ශක්ති වලින් ද ප්‍ර‍ත්‍යය වන බව දත යුතු ය.

ඒ ලෝභ චෛතසිකය එය හා යෙදෙන මෝහ හේතුව නිසා හේතු ප්‍ර‍ත්‍යයෝත්පන්න ද වේ. ආරම්මණ අධිපති අනන්තර සමනන්තර සහජාත අන්‍යොන්‍ය නිශ්ශ්‍ර‍ය උපනිශ්ශ්‍ර‍ය ආසේවන කර්ම ආහාර ඉන්ද්‍රිය ධ්‍යාන මාර්ග සම්ප්‍ර‍යුක්ත අස්ති අවිගත යන ප්‍ර‍ත්‍යයන්ගේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයන් ද වේ.

මෙසේ ඒ ඒ ධර්මයන්ගේ ප්‍ර‍ත්‍යය භාවය හා ප්‍ර‍ත්‍යයෝත්පන්න භාවය සොයා ගත යුතු ය.

6. ප්‍ර‍ත්‍ය වන ආකාරය කොටින් දැක්වීම

10 වන පාඩම

නාමය නාමයට සයාකාරයකින් ප්‍ර‍ත්‍යය වේ. නාමය නාම-රූප දෙකට පස් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ. නාමය රූපයට එක් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ. රූපය නාමයට එක් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍ඥප්ති නාමරූපයෝ නාමයට දෙයාකාරයකින් ප්‍ර‍ත්‍ය වේ. නාම රූප දෙක නාම රූප දෙකට නවාකාරයකින් ප්‍ර‍ත්‍යය වේ. මෙසේ ප්‍ර‍ත්‍යය වීම සයාකාර වේ.

නාමය නාමයට ප්‍ර‍ත්‍යය වන සයාකාරය

ළඟින් ම නිරුද්ධ වන චිත්ත චෛතසිකයෝ ඒවා ළඟින් ම උපදනා චිත්ත චෛතසිකයන්ට අනන්තර - සමනන්තර - නාස්ති - විගත ශක්තීන්ගෙන් ප්‍ර‍ත්‍යය වන්නාහ. ඒ ඒ වීථිවල පළමු පළමු ජවනයෝ පසුපසු ජවනයන්ට ආසේවන ශක්තියෙන් ප්‍ර‍ත්‍යය වන්නාහ. එක්ව උපදනා චිත්ත චෛතසක ධර්මයෝ ඔවුනොවුන්ට සම්ප්‍ර‍යුක්ත ශක්තියෙන් ප්‍ර‍ත්‍යය වන්නාහ. මෙසේ නාමය නාමයට සයාකාරයකින් ප්‍ර‍ත්‍ය වේ.

නාමය නාම - රූප දෙකට ප්‍ර‍ත්‍යය වන පස් ආකාරය

හේතු ධ්‍යානාඞ්ග මාර්ගාඞ්ග යන මේවා සහජාත නාම-රූපයන්ට හේතු ධ්‍යාන මාර්ග ශක්තිවලින් ප්‍ර‍ත්‍යය වේ. සහජාත චේතනාව සහජාත නාමරූපයන්ට ද, නානාක්ෂණික චේතනාව කර්මයෙන් උපදනා නාම - රූපයන්ට ද ප්‍ර‍ත්‍යය වන්නේ ය. විපාක චිත්ත චෛතසිකයෝ ඔවුනොවුන්ට හා සහජාත රූපයන්ට විපාක ශක්තියෙන් ප්‍ර‍ත්‍යය වන්නාහ. මෙසේ නාමය නාම-රූප දෙකට පස් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ.

නාමය රූපයට ප්‍ර‍ත්‍යය වන එක් ආකාරය

පසුව උපදනා චිත්ත චෛතසිකයෝ කලින් ඇති වූ මේ රූප - කයට පශ්චාජ්ජාත ශක්තියෙන් ප්‍ර‍ත්‍යය වන්නාහ. මෙසේ නාමය රූපයට එක් ආකාරයකින් ප්‍ර‍ත්‍ය වේ.

රූපය නාමයට ප්‍ර‍ත්‍යය වන එක් ආකාරය.

ප්‍ර‍වෘත්ති කාලයේදී චක්ෂුරාදි වස්තු රූප සය විඥාන ධාතු සතට ද, රූපාදි අරමුණු පස පඤ්චද්වාර වීථි සිත් වලට ද පුරේජාත ශක්තියෙන් ප්‍ර‍ත්‍යය වේ. මෙසේ රූපය නාමයට එක් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ.

ප්‍ර‍ඥප්ති - නාම - රූප නාමයට ප්‍ර‍ත්‍යය වන දෙයාකාරය.

ආරම්මණ ශක්තියෙන් ද, උපනිශ්‍ර‍ය ශක්තියෙන් ද ප්‍ර‍ඥප්ති නාම රූප යන තුන ම නාමයට ප්‍ර‍ත්‍යය වේ. මෙසේ ප්‍ර‍ඥප්ති නාම රූපයෝ නාමයට දෙපරිද්දකින් ප්‍ර‍ත්‍යය වන්නාහ.

නාම - රූප දෙක, නාම-රූප දෙකට ප්‍ර‍ත්‍යය වීම

අධිපති - සහජාත - අන්‍යොන්‍ය - නිශ්ශ්‍ර‍ය - ආහාර - ඉන්ද්‍රිය - විප්‍ර‍යුක්ත - අස්ති - අවිගත යන ප්‍ර‍ත්‍යය ශක්ති නවයෙන් නාම - රූප දෙක, නාම - රූප දෙකට සුදුසු පරිදි ප්‍ර‍ත්‍යය වන්නාහ.

අතීත අනාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ ද කාලත්‍ර‍යට අයත් නො වූ ද, ආධ්‍යාත්මික වූ ද බාහ්‍ය වූ ද ප්‍ර‍ඥප්ති නාම රූප වශයෙන් ත්‍රිප්‍ර‍කාර වූ සකල ධර්ම සමූහය ම සුදුසු පරිදි සූවිසි ප්‍ර‍ත්‍යයට අයත් වන්නාහ. යම් කිසි ප්‍ර‍ත්‍යයක් නො වන ධර්මයක් නැත්තේ ය. මේ ධර්ම සමූහයෙන් නිර්වාණයත් ප්‍ර‍ඥප්තියත් හැර ඉතිරි ධර්මයෝ ඒ ඒ ප්‍ර‍ත්‍යයන්ගේ ප්‍ර‍ත්‍යයෝත්පන්න ද වන්නේ ය.

නාමය හා රූපය

නාම-රූප යන වචන දෙක මේ ධර්මයෙහි නිතර ව්‍යවහාර වන වචන දෙකකි. එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, නිර්වාණය ය යන මේ ධර්මයන් නාම යන නමින් හඳුන්වනු ලැබේ. ඒ ධර්මයන්ගේ රූ සටහන් නැත. ඒවා දැන ගන්නේ, සිත ය - ඵස්ස ය - වේදනාව ය යනාදි නම් අසා ඒ නම්වලිනි. ඒවාට නාම යන නම දී ඇත්තේ ඒ නිසා ය. රූපස්කන්ධය යි කියන රූප විසි අට රූප නම් වේ. නාම-රූප යන වචනවල තවත් අර්ථ ඇත්තේ ය. දක්වන ලදුයේ මෙතැනට ඕනෑ කරන අර්ථය ය. නාමයන්ට අරූපයයි ද කියනු ලැබේ. පඤ්චස්කන්ධයෙන් පළමු වැන්න රූපස්කන්ධය ය. වේදනා - සංඥා - සංස්කාර - විඥාන යන ස්කන්ධ සතරට නාමස්කන්ධ යයි කියනු ලැබේ.

7. ප්‍ර‍ඥප්තිය

11 වන පාඩම

පරමාර්ථය මහජනයාට එතරම් ප්‍ර‍කට නැත. ඔවුන්ට ලොව ඇති දේවල් සැටියට විශාල ලෙසට පෙනෙන්නේ ප්‍ර‍ඥප්තීන් ය. එබැවින් අභිධර්මය උගන්නා තැනැත්තා විසින් ප්‍ර‍ඥප්තිය ගැන ද අවබෝධයක් ඇති කර ගත යුතු ය. ප්‍ර‍ඥප්තිය ගැන අවබෝධයක් ඇති කර ගැනීම ප්‍ර‍ඥප්තියෙන් වෙන් කොට පිරිසිදු ලෙස පරමාර්ථය හැඳින ගැනීමට ද උපකාර වේ. එබැවින් මෙහි ප්‍ර‍ඥප්තිය ගැන ද තරමක විස්තරයක් කරනු ලැබේ.

සැබෑවට ම ඇති සැටියට සිතට නැඟෙන, හොඳින් විමසුව හොත් නැති බව දැනෙන, සත්‍යය වශයෙන් නැති දේවලට ප්‍ර‍ඥප්තිය යි කියනු ලැබේ. ඇත ය කියා හැඟෙන දෙයක් සත්‍ය වශයෙන් ම ඇත ද නැත ද කියා දැන ගැනීමට කළ යුත්තේ ඒ දෙය බෙදා බැලීම ය. බෙදා බලන කල්හි මුලින් ඇති සැටියට පෙනුණු දෙය නැති වේ නම්, එය සත්‍ය වශයෙන් ඇතියක් නො වේ. වස්ත්‍ර‍ය කියා දෙයක් ඇති සැටියට සලකනු ලැබේ. එය බෙදා බැලුව හොත් නූල් සමූහයක් ලැබෙනු ඇත. නූල් සමූහය මිස වස්ත්‍ර‍යක් නො වේ. කලින් ඇති සැටියට පෙනුණු වස්ත්‍ර‍ය ඒ නූල් සමූහයෙහි නැත. නූල් ටික වෙන් කොට ගත් කල්හි වස්ත්‍ර‍ය නො පෙනී යන්නේ නූල් හැර වස්ත්‍ර‍යක් නැති බැවිනි. වස්ත්‍ර‍ය සේ බෙදා බලන කල්හි නැති වන සියල්ල ම ප්‍ර‍ඥප්තීහු ය.

අර්ථ ප්‍ර‍ඥප්තිය - නාම ප්‍ර‍ඥප්තිය කියා ප්‍ර‍ඥප්ති දෙවර්ගයක් ඇත්තේ ය. අර්ථ ප්‍ර‍ඥප්තිය යනු කථා කරන වචනානුසාරයෙන් සිතට නැඟෙන පරමාර්ථ වශයෙන් නැත්තා වූ දේවල් ය. මේසය යන වචනය ඇසුණු කල්හි ඒ වචනය නිසා ඇසූ තැනැත්තා ගේ සිතට යම් කිසිවක් දැනෙන්නේ ය. එයට වචනයේ අර්ථ ය යයි කියනු ලැබේ. එය අර්ථ ප්‍ර‍ඥප්තිය ය. වචනානුසාරයෙන් හැඟෙන ඒ අර්ථ ප්‍ර‍ඥප්තිය වචනානුසාරයෙන් මිස අන් ක්‍ර‍මයකින් නො දැනෙන්නේ යයි නො ගත යුතු ය. ඇසට පෙනීම් ආදි කරුණුවලින් ද අර්ථ ප්‍ර‍ඥප්තිය දැනෙන්නේ ය. ඒවා බොහෝ සෙයින් වචනානුසාරයෙන් ම දැනෙන නිසා ඒවාට අර්ථ ප්‍ර‍ඥප්තිය යන නම තබා තිබේ.

සංස්ථාන ප්‍ර‍ඥප්තිය - සමූහ ප්‍ර‍ඥප්තිය - සත්ත්ව ප්‍ර‍ඥප්තිය - දිශා ප්‍ර‍ඥප්තිය - කාල ප්‍ර‍ඥප්තිය යනාදීන් බොහෝ අර්ථ ප්‍ර‍ඥප්ති ඇත්තේ ය.

පළල් බව උස් බව මිටි බව වට බව සතරැස් බව යනාදි මහාභූතයන් පිහිටි සටහන් අනුව සිතට දැනෙන පොළොව කන්ද ගස වැල මල කොළය ගෙඩිය යනාදිය සංස්ථාන ප්‍ර‍ඥප්තීහු ය.

නොයෙක් ද්‍ර‍ව්‍ය ඒ ඒ ආකාරයෙන් එකතු වී එකිනෙකට සම්බන්ධ වී තිබීම නිමිත්ත කොට ඇති සැටියට සිතට දැනෙන මේසය පුටුව ඇඳ පැදුර කොට්ටය රථය යනාදිය සමූහ ප්‍ර‍ඥප්තීහු ය.

ස්කන්ධ පඤ්චකය ම නිමිත්ත කොට ඇති සේ සිතට හැඟෙන දෙවියා මිනිසා ගැහැනිය පිරිමියා ඇතා අශ්වයා ගොනා යනාදි ප්‍ර‍ඥප්තීහු සත්ත්ව ප්‍ර‍ඥප්තීහු ය. චන්ද්‍ර‍ සූර්‍ය්‍යයන්ගේ භ්‍ර‍මණය නිමිත්ත කොට හැඟෙන, නැගෙනහිර - බස්නාහිර - උතුර - දකුණ යන මේවා දිශා ප්‍ර‍ඥප්තීහු ය.

චන්ද්‍ර‍ සූර්‍ය්‍යයන්ගෙ භ්‍ර‍මණය නිසා හැඟෙන උදය සවස දවාල රාත්‍රිය වර්ෂය මාසය දිනය යනාදිය කාල ප්‍ර‍ඥප්තීහු ය.

අසන තැනැත්තාගේ සිතට යම් කිසි අර්ථයක් මතු කර දෙන වස්ත්‍ර‍ය මේසය පුටුව ගස ගල ආදි නාමයෝ නාම ප්‍ර‍ඥප්තීහු ය. ශබ්දයේත් නාමයේත් වෙනස දත යුතු ය. ශබ්දය පරමාර්ථ ධර්මයකි. නාමය ප්‍ර‍ඥප්තියකි. ඒ නිසා ශබ්දය නාමය නො වන බව දත යුතු ය. නූල් සමූහය නිසා සත්‍යය වශයෙන් නැති වස්ත්‍ර‍ය කියා දයෙක් දක්නා තැනැත්තාගේ සිතට හැඟෙන්නාක් මෙන් ශබ්ද සමූහය නිසා අනේකප්‍ර‍කාර නාම ප්‍ර‍ඥප්ති අසන තැනැත්තාගේ සිත හැඟෙන්නේ ය. මේසය යන මෙහි “මේ-ස-ය” කියා ශබ්ද තුනක් ඇත්තේ ය. ඒ ශබ්දවලින් එක එකක් හෝ සියල්ල හෝ නාමය නො වේ. “මේ-ස-ය” යන ශබ්ද පිළිවෙළින් ඇසුණු කල්හි ඒ ශබ්ද තුන නිසා අසන්නාගේ සිතට හැඟෙන දෙයකි, මේසය යන නාම ප්‍ර‍ඥප්තිය. ඒ නාමය නිසා ඔහුට මේසය නමැති අර්ථ ප්‍ර‍ඥප්තිය සිතට නැඟී එන්නේ ය. මේසය යන නාම ප්‍ර‍ඥප්තිය එක් දෙයකි. එය මේ-ස-ය යන ශබ්ද තුන නිසා සිතට දැනෙන දෙයකි. කියන ලද කරුණු නුවණින් සලකා, ශබ්දයේත් නාම ප්‍ර‍ඥප්තියේත් වෙනස තේරුම් ගත යුතු ය. මෙය සමහරුන්ට අවුල් විය හැකි තැනකි.

විද්‍යමාන ප්‍ර‍ඥප්තිය, අවිද්‍යමාන ප්‍ර‍ඥප්තිය, විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තිය, අවිද්‍යමානයෙන් විද්‍යමාන ප්‍ර‍ඥප්තිය, විද්‍යමානයෙන් විද්‍යමාන ප්‍ර‍ඥප්තිය, අවිද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තිය කියා නාම ප්‍ර‍ඥප්තිය සයාකාර වේ.

පරමාර්ථ වශයෙන් ඇත්තා වූ රූප වේදනාදිය පවසන නාමය විද්‍යමාන ප්‍ර‍ඥප්ති නම් වේ. චිත්ත - ඵස්ස - වේදනා - සඤ්ඤා - චේතනා - පඨවි - ආපෝ - යනාදි නාමයෝ විද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය.

පරමාර්ථ වශයෙන් නැත්තා වූ මේස - පුටු - වස්ත්‍ර‍ ආදිය කියැවෙන නාමයෝ අවිද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය. මේසය පුටුව වස්ත්‍ර‍ය පොළොව පර්වතය දෙවියා මිනිසා ළමයා යනාදි ප්‍ර‍ඥප්තීහු අවිද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය.

නුවණැත්තා සැදැහැවතා ඊර්‍ෂ්‍යාකාරයා ලෝභියා සුදු මිනිසා යනාදි පරමාර්ථ වශයෙන් විද්‍යමාන දෙයක් නිමිත්ත කොට ගෙන අවිද්‍යමාන දෙයක් අඟවන නාමයෝ විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය. නුවණ පරමාර්ථ ධර්මයකි. පුද්ගලයා පරමාර්ථ වශයෙන් නැත. එබැවින් නුවණැත්තා යනු විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තියකි. ශ්‍ර‍ද්ධාව පරමාර්ථ ධර්මයකි. පුද්ගලයා පරමාර්ථයෙන් අවිද්‍යමාන ය. එබැවින් සැදැහැවතා යනු විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තියකි. සුද පරමාර්ථ ධර්මයකි. එය වර්ණ රූපය ය. මිනිසා අවිද්‍යමාන ය. එබැවින් සුදු මිනිහා යනු විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තියකි.

ගැහැනු නුවණ - වීණා හඬ - ළමා සිත යනාදි අවිද්‍යමාන දෙයක් නිමිත්ත කොට විද්‍යමාන දෙයක් හඟවන නාමයෝ අවිද්‍යමානයෙන් විද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය.

චක්ඛුවිඤ්ඤාණ සෝතවිඤ්ඤාණ යනාදි නාමයෝ පරමාර්ථ වශයෙන් ඇතියක් නිමිත්ත කොට පරමාර්ථ වශයෙන් ඇතියක් අඟවන බැවින් විද්‍යමානයෙන් විද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය. චක්ඛු විඤ්ඤාණ යන මෙහි චක්ඛු යන නාමයෙන් කියැවෙන චක්ඛු ප්‍ර‍සාදය විඤ්ඤාණ යන නාමයෙන් කියැවෙන සිතය යන දෙක ම පරමාර්ථ වශයෙන් ඇති ඒවා ය.

ගැහැණු ළමයා - පිරිමි පුතා යනාදි නාමයෝ අවිද්‍යමාන දෙයක් නිමිත්ත කොට අවිද්‍යමාන දෙයක් ම අඟවන බැවින් අවිද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය.

මෙතෙකින් අටවන පරිච්ඡේදය නිමියේ ය.

9. නවම පරිච්ඡේදය

1. කර්මස්ථාන සංග්‍ර‍හය

ඉහත පරිච්ඡේද, අටෙහි දැක්වුණු ප්‍ර‍ත්‍යය සහිත නාම - රූප විභාගය උගෙනීමෙන් දැන ගැනීමෙන් ලැබිය යුතු උසස් ඵලය නම්, ඒ දැනීම පිහිට කර ගෙන භාවනාවෙහි යෙදී සකල දුඃඛයට හේතු වන අවිද්‍යා තෘෂ්ණා ප්‍ර‍ධාන ක්ලේශ සමූහය දුරු කොට, ස්වසන්තානය පිරිසිදු කරගෙන, ලෝකෝත්තර නිර්වාණ ධාතුව පසක් කර ගැනීම ය. අතිශයින් ගැඹුරු වූ පරමාර්ථ ධර්මයන්ගේ සැබෑ තත්ත්වය පොත උගෙනීමෙන් පමණක් නො දත හැකි ය. උපක්‍ර‍මයෙන් දියුණු නොකළ සාමාන්‍ය ඥානය ඒ ධර්මයන්ගේ තතු හරියට සොයා ගැනීමට දැක ගැනීමට ප්‍ර‍මාණ නො වේ. ඒ ධර්මයන් හරියට තේරුම් ගත හැකි වීමට භාවනාවෙහි යෙදීමෙන් දියුණු කළ සමාධියක් හා ඥානයක් වුවමනා ය. එබැවින් උගෙනීමෙන් ලැබූ ධර්ම ඥානය පිරිසිදු කර ගත හැකි වීමටත් භාවනාවෙහි යෙදීම කළ යුතු ය. ධර්ම ඥානය දියුණු කර ගත හැකිවීමටත් නිවන් පසක් කර ගත හැකි වීමටත් මේ පරිච්ඡේදයේ දැක්වෙන යම්කිසි භාවනාවක් පුරුදු කළ යුතු ය.

කර්මස්ථාන

යෝගාවචරයන් විසින් තමන් කරන යෝග කර්මයට අරමුණ වශයෙන් ගන්නා වූ කසිණාදි ප්‍ර‍ඥප්ති හා නාම - රූප ධර්ම කර්මස්ථාන නම් වේ. කර්මස්ථාන යන වචනයේ තේරුම: ‘යෝග කර්මයට ස්ථාන වන දෙය ය’ යනු යි. පළමු පළමු පවත්වන යෝග ක්‍රියාව හෙවත් භාවනාව ද, මතු මතුයෙහි කරන භාවනාවට අත්තිවාරම වන බැවින් කර්මස්ථාන නම් වේ. ශමථ කර්මස්ථානය - විදර්ශනා කර්මස්ථානය කියා කර්මස්ථාන දෙවර්ගයෙකි.

රාගාදි ක්ලේශයන් හා විතර්කාදි ඇතැම් ඖදාරික චිත්තාඞ්ගයන් සන්සිඳවන ඒකාග්‍ර‍තාව ශමථ නම් වේ. සමාධි යනු ද එයට ම නමෙකි. සමාධි භාවනාවට ස්ථාන වන කසිණාදි ප්‍ර‍ඥප්ති සමථ කර්මස්ථාන නමි. ඒවා අරමුණු කොට කරන භාවනාව ද ශමථ කර්මස්ථාන නම් වේ. ශමථ කර්මස්ථානයෙන් ලැබිය හැකි උසස් දෙය ධ්‍යානාභිඥා හා සුගතියෙහි ඉපදීම ය. ඒ සමාධිය විදර්ශනාවට ද උපකාර ය.

සාමාන්‍ය ජනයා විසින් සත්ත්වයන් පුද්ගලයන් ස්ත්‍රී පුරුෂයන් සැටියට දක්නා වූ ද, නිත්‍ය දෙයක් හොඳ දෙයක් සැටියට දක්නා වූ ද පඤ්චස්කන්ධය නාම-රූප ධර්ම රාශියක් සැටියට ද, අනිත්‍ය දෙයක් නො මනා දෙයක් සැටියට ද විශේෂයෙන් දක්නා වූ, පඤ්චස්කන්ධය ඇති සැටියට ම දක්නා වූ ඥානය ‘විදර්ශනා’ නම් වේ. විදර්ශනාව අරමුණු වශයෙන් ගන්නා වූ නාම-රූප ධර්ම හා විදර්ශනා භාවනාවන් විදර්ශනා කර්මස්ථාන නම් වේ. ලෝකෝත්තර මාර්ගඵල ලබාදී සත්ත්වයා නිවනට පමුණුවන්නේ විදර්ශනා කර්මස්ථානයෙනි.

ශමථ කර්මස්ථාන සතළිස.

කසිණ දශය ය, අශුභ දශය ය, අනුස්මෘති දශය ය, අප්‍ර‍මාණ්‍ය සතර ය, එක් සංඥාවක් ය, එක් ව්‍යවස්ථානයක් ය, ආරුප්‍ය සතර ය කියා ශමථ කර්මස්ථාන සතළිසකි.

කසිණ දශය

පඨවි කසිණය, ආපෝ කසිණය, තේජෝ කසිණය, වායෝ කසිණය, නීල කසිණය, පීත කසිණය, ලෝහිත කසිණය ඕදාත කසිණය, ආකාස කසිණය, ආලෝක කසිණය කියා කසිණ දශයෙකි.

යෝගාවචරයන් විසින් පිහිටවා ගැනීම සඳහා ගන්නා වූ, මැටියෙන් කළ මණ්ඩලය ‘පඨවි කසිණ, නම් වේ. සෑම කසිණයක් ම කුඩා කොට ගන්නා කල්හි එක් වියත් සතර අඟලක් පමණ විය යුතු ය. මහත් කොට ගන්නා කල්හි කුඩයක් පමණට කමත් පමණට කසිණය ගැන්මට ද වටනේ ය. පඨවි කසිණය සඳහා ගත යුත්තේ තරමකට රතු පස් ය. තද රතු පස හෝ අන් පැහැයක පස හෝ කසිණය තැනීමට නො ගත යුතු ය. බිම ම හෝ ලෑලි ආදි යම් කිසිවක හෝ මැටි ගා එය තනා ගැනීම සුදුසු ය. මැටි හොඳින් අනාගෙන කඩතොලු නැති සැටියට මට්ටමට එය සාදා ගත යුතු ය. පඨවි මණ්ඩලාදියට කසිණ යයි කියනුයේ, භාවනා කිරීමේ දී සැම තැන ම අරමුණු කොට භාවනා කළ යුතු නිසා ය.

මණ්ඩලාකාරයෙන් පිහිටි ජලය ‘අපෝ කසිණය’ ය. යම් කිසි අමුතු පැහැයක් ඇති ජලය ආපෝ කසිණයට නො ගත යුතු ය. පාත්‍රාදි වට වූ මුව ඇති බඳුනකට පිරිසිදු ජලය පුරවා ගෙන ආපෝ කසිණ භාවනාව කළ හැකිය.

මණ්ඩලාකාරයෙන් පෙනෙන ගින්න ‘තේජෝ කසිණය’ ය. හොඳ දරවලින් ගිනි ගොඩක් පිළියෙළ කොට එක් වියත් සතරඟුල් පමණ කවාකාර සිදුරක් ඇති තහඩුවක් ඒ ගින්න සමීපයේ තබා ඒ සිදුරෙන් පෙනෙන ගින්න අරමුණු කොට තේජෝ කසිණ භාවනාව කළ හැකි ය.

වාතය සැපෙන යම් කිසිවක් අනුව තමාගේ සිතින් සලකා ගන්නා සුළං වැටිය ‘වායෝ කසිණය’ ය. වායුව සැපී සෙලවෙනු පෙනෙන යම් කිසිවක් අනුව, තමාගේ සිතින් ම වායුධාරාවක් ඇති සැටියට සලකා ගැනීමෙන් හෝ යම් කිසි සිදුරකින් අවුත් තමාගේ ශරීරයේ සැපෙන වායුව සිහි කිරීමෙන් හෝ වායෝ කසිණ භාවනාව කළ හැකිය.

නිල් පැහැය ඇති මණ්ඩලය ‘නීල කසිණය’ ය. කහ පැහැය ඇති මණ්ඩලය ‘පීත කසිණය’ ය. රතුපැහැය ඇති මණ්ඩලය ‘ලෝහිත කසිණය’ ය. සුදු පැහැය ඇති මණ්ඩලය ‘ඕදාත කසිණය’ ය. ඒ ඒ පැහැය ඇති සායම් යම් කිසිවක ආලේප කොට වර්ණ කසිණ සාදා ගත හැකි ය. පාට කරදාසිවලින් හා රෙදිවලින් ද ඒවා සාදා ගත හැකි ය. එක් වියත් සතරඟලක් පමණට ඝන කරදාසියක සිදුරක් කපා ගෙන තමාට වුවමනා පැහැය ඇති කරදාසියක් එයට යටින් තබා ගැනීම ඉතා පහසුවෙන් වර්ණ කසිණ සාදා ගැනීමේ ක්‍ර‍මය ය.

ආකාස මණ්ඩලය ‘ආකාස කසිණය’ ය. යම් කිසිවක එක් වියත් සතර අඟලකට සිදුරක් සාදා ඒ සිදුර තුළ ආකාශය මෙනෙහි කිරීම් වශයෙන් ආකාස කසිණ භාවනාව කළ හැකි ය.

ආලෝක මණ්ඩලය ‘ආලෝක කසිණය’ ය. බිමට හෝ බිත්ති ආදි යම් කිසි තැනකට හෝ එක් වියත් සතරඟුල් පමණට ආලෝකයක් වැටෙන්නට සාදා ගෙන ඒ ආලෝකය බලාගෙන ආලෝක කසිණ භාවනාව කළ හැකි ය. ටින් එකක සිදුරක් කොට එහි පහනක් දල්වා සිදුරෙන් ආලෝකය යම්කිසි තැනකට වැටෙන්නට සලස්සා ආලෝක කසිණය සාදා ගත හැකි ය. මැටි බඳුනකින් ද එය සාදා ගත හැකිය. විදුලි බලය ඇති තැන්වල ඉතා පහසුවෙන් ආලෝක කසිණය සාදා ගත හැකිය.

2 වන පාඩම

අශුභ දශය

උද්ධුමාතකය, විනීලකය, විපුබ්බකය, විච්ඡිද්දකය, වික්ඛායිතකය, වික්ඛිත්තක ය, හතවික්ඛිත්තකය, ලෝහිතකය, පුලවකය, අට්ඨිකය කියා අශුභ දශයෙකි.

ඉදිමී ගිය මළ සිරුර උද්ධුමාතක නමි. ඉදිමී නිල් වූ මළ සිරුර විනීලක නමි. පැසවා ඒ ඒ තැනින් සැරව ගලන මළ සිරුර විපුබ්බක නමි. යුද්ධ භූමි ආදියෙහි දෙකට කපා දමා ඇති මළ සිරුර විච්ඡිද්දක නමි. බලු සිවල් ආදීන් විසින් තැනින් තැනින් කා දමන ලද මළ සිරුර වික්ඛායිතක නමි. බලු සිවල් ආදීන් විසින් කැබලි කොට ඒ ඒ තැනට කැබලි ඇද දමා ඇති මළ සිරුර වික්ඛිත්තක නමි. මුළු සිරුර ම කාකපාදාකාරයෙන් තුවාල කොට පසු ව කඩ කඩ කොට විසුරුවා දමා ඇති මළ සිරුර හතවික්ඛිත්තක නමි. ලේ ගලන මළ සිරුර ලෝහිතක නමි. පණුවන් ගැවසුණු මළ සිරුර පුලවක නමි. ලේමස් නැති ඇට සමූහය අට්ඨික නම්.

අනුස්මෘති දශය

බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සඞ්ගානුස්සතිය, සීලානුස්සතිය, චාගානුස්සතිය, දේවතානුස්සතිය, උපසමානුස්සතිය, මරණානුස්සතිය, කායගතාසතිය, ආනාපානසතිය කියා අනුස්මෘති කර්මස්ථාන දශයෙකි.

  1. අර්හත්වාදි බුද්ධ ගුණයන් සිහි කිරීම බුද්ධානුස්සති කර්මස්ථානය ය.
  2. ස්වඛ්‍යාතතාදි ධර්ම ගුණයන් සිහි කිරීම ධම්මානුස්සති නමි.
  3. සුප්‍ර‍තිපන්නතාදි සඞ්ග ගුණයන් සිහි කිරීම සඞ්ඝානුස්සති නමි.
  4. තමාගේ ශීල ගුණය සිහි කිරීම සීලානුස්සති නමි.
  5. තමාගේ ත්‍යාග ගුණය සිහි කිරීම චාගානුස්සති නමි.
  6. දේවත්වයට පමුණුවන තමාගේ ශ්‍ර‍ද්ධාදි ගුණ දෙවියන් සාක්ෂ්‍යස්ථානයෙහි තබා සිහි කිරීම දේවතානුස්සති නමි.
  7. සකල දුඃඛයන්ගේ ම සන්සිඳීම වූ නිර්වාණයේ ගුණ සිහි කිරීම උපසමානුස්සති නමි.
  8. මරණය සිහි කිරීම මරණානුස්සති නමි.
  9. කේසාදි ශාරීරික කොට්ඨාසයන් සිහි කිරීම කායගතාසති නමි.
  10. ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව සිහි කිරීම ආනාපානසති නමි.

මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන මේ සතර අප්‍ර‍මාණ්‍යයෝ ය. බ්‍ර‍හ්මවිහාර යනු ද ඒවාට නමෙකි.

එක් සංඥාවක්ය යනු ආහාරයෙහි ප්‍ර‍තික්කූල සංඥාව ය. ආහාරයේ පිළිකුල් බව අනේකාකාරයෙන් සිහි කිරීම ය.

එක් ව්‍යවස්ථානයක් ය යනු ශරීරයෙහි වූ පෘථිවි ආපෝ තේජෝ වායෝ යන ධාතු සතර ලක්ෂණාදි වශයෙන් වෙන වෙන ම බැලීම ය. එයට “චතුර්ධාතු ව්‍යවස්ථානය” යි කියනු ලැබේ.

ආරුප්‍ය සතරය යනු ආකාසානඤ්චායතනාදි අරූප ධ්‍යාන සතරට අරමුණු වන කසිණයෙන් උපුටා ගත් ආකාශ ප්‍ර‍ඥප්තිය ආදි අරමුණු සතර ය.

මෙතෙකින් කර්මස්ථාන සතළිස කොටින් දක්වන ලද්දේ ය.

භාවනා තුන

පරිකර්ම භාවනාව - උපචාර භාවනාව - අර්පණා භාවනාව ය කියා භාවනා තුනෙකි.

කසිණාදි ආරම්මණයක සිත පිහිටුවා ගෙන එය ම නැවත නැවත මෙනෙහි කිරීම් වශයෙන් ඇසට පෙනෙන්නාක් මෙන් ඒ අරමුණ සිතට පෙනෙන පරිදි පුරුදු කරන්නා වූ යෝගාවචරයාගේ ඒ භාවනාව පරිකර්ම භාවනා නමි.

භාවනාරම්මණය සිතට ගෙන කාමච්ඡන්දාදි නීවරණයන් යටපත් කර ගත් තැන් පටන් අර්පණාචිත්තය ඇති වීමට ළං වන තුරු භාවනාව උපචාර භාවනා නමි.

මහග්ගත ලෝකෝත්තර භාවයට පැමිණි භාවනාව අර්පණා භාවනා නම් වේ.

අරමුණට පිවිසෙන්නාක් මෙන් පවත්නා බැවින් විතර්කය අර්පණා නම් වේ. එය ප්‍ර‍ධාන කොට පවත්නා බැවින් සියලු ම මහද්ගත ලෝකෝත්තර ධ්‍යාන ධර්මයන්ට ඒ නම ව්‍යවහාර කරනු ලැබේ.

නිමිති තුන

පරිකර්ම නිමිත්තය, උද්ග්‍ර‍හ නිමිත්තය, ප්‍ර‍තිභාග නිමිත්තය කියා නිමිති තුනෙකි. පළමුවෙන් ම භාවනාව පටන් ගෙන පෘථිවි මණ්ඩලාදියෙහි නිමිත්ත, සිතට ගන්නා වූ යෝගාවචරයා ගේ ඒ භාවනා නිමිත්ත පරිකර්ම නිමිත්ත නම් වේ. ඇසට පෙනෙන්නාක් මෙන් සිතට පෙනෙන්නට පටන් ගත් භාවනා නිමිත්ත උද්ග්‍ර‍හ නිමිත්ත නම් වේ. උද්ග්‍ර‍හ නිමිත්ත සිහි කරමින් ඉන්නා කල්හි නීවරණයන් වැඩි දුරටත් දුරු වී යෑමෙන් සිත පිරිසිදු වී, භාවනා නිමිත්ත සකල දෝෂයන් ගෙන් තොරව, ඉතා පිරිසිදු වී සිතට පෙනෙන්නට වන්නේ ය. ඉතා පිරිසිදු වූ ඒ භාවනා නිමිත්ත ප්‍ර‍තිභාව නිමිත්ත නම් වේ.

2. චරිත සය

3 වන පාඩම

කමටහන් බොහෝ ගණනක් ඇත්තේ සෑම දෙනාට ම ඒ සියල්ල ම වැඩීම පිණිස නො ව, තම තමන්ට, වඩා ගැලපෙන කමටහන් තෝරා ගෙන භාවනා කරනු පිණිස ය. නොගැලපෙන කමටහන වඩා, සමාධිය ලැබීම අපහසු ය. ගැලපෙන කමටහන තෝරා ගෙන භාවනා කරන්නා හට ඉක්මනින් සමාධිය ලැබිය හැකි ය. කමටහන තෝරා ගන්නේ චරිතය අනුව ය.

රාග චරිතය, ද්වේෂ චරිතය, මෝහ චරිතය, ශ්‍ර‍ද්ධා චරිතය, බුද්ධි චරිතය, විතර්ක චරිතය කියා චරිත සයක් ඇත්තේ ය. චරිතය යනු ඒ ඒ පුද්ගලයාගේ ප්‍ර‍කෘතිය ය. රාග-ද්වේෂාදි සියල්ල ම කාහටත් ඇති බැවින් චරිතය තේරුම් ගැනීම ඉතා අපහසු ය.

බොහෝ සෙයින් රාගය ඇති වන රාග බහුල තැනැත්තා රාග චරිතයා ය. රාගය යනු ලෝභය ය. මානය, ලෝභය හා එක් ව පවත්නා චෛතසිකයක් වන බැවින් රාග චරිතයාට මානය ද අධික ය. පුද්ගලයන්ට හා වස්තූන්ට තදින් ඇලුම් කරන බව, කොතෙක් ලදත් සෑහීමකට පත් නො වන බව, පමණට වඩා පරෙස්සම් කරන බව, කෑම්-බීම්-ඇඳුම්-පැළඳුම් ආදියට බොහෝ කෑදර බව, වැඩ ලස්සනට කරන බව, ශරීරය හා ඇඳුම් පැළඳුම් ද වාසස්ථාන ද තමාගේ භාණ්ඩ ද ලස්සනට තබා ගන්නා බව, ලස්සන දේවලට කැමති බව යනාදිය රාග චරිතයා ගේ ලක්ෂණයෝ ය.

නිතර අනුන්ට ද්වේෂ කරන, ද්වේෂ බහුල තැනැත්තා ද්වේෂ චරිතයා ය. ද්වේෂය හා එක් ව උපදනා ඉස්සා - මච්ඡරිය - කුක්කුච්චයෝ ද ද්වේෂ චරිතයාට බහුල ය. නිතර කිපෙන බව, ඉතා සුළු කරුණටත් කිපෙන බව, අකාරණයෙහිත් කිපෙන බව, වෛර කරන බව, අනුන් හා වැඩිකල් මිත්‍ර‍ ව නො විසිය හැකිබව, සැම කටයුත්තක දී ම කලබල වන බව, බිය වන බව, ඉක්මනින් වෙනස් වන බව, කවරකට වුව ද වඩා ඇල්මක් නැති බව, කටුක ආහාරවලට කැමති බව යනාදිය ද්වේෂ චරිතයා ගේ ලක්ෂණයෝ ය.

මෝහය අධික තැනැත්තා මෝහ චරිතයා ය. ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යන මේවා ද මෝහ චරිතයාට අධික ය. ගැඹුරු කරුණු තේරුම් ගැනීමට අසමත් බව, රැවටෙන සුළු බව, අනුන්ගේ කීම් අනුව යුතු අයුතුකම් හොඳ නරක සලකන බව, පිළිගත් වැරදි හැඟීම් අතහරවන්නට දුෂ්කර බව, කිනම් දෙයක් වුවත් හරියට කිරීමට නො සමත් බව යනාදිය මෝහචරිතයා ගේ ලක්ෂණයෝ ය.

ශ්‍ර‍ද්ධාව අධික තැනැත්තා ශ්‍ර‍ද්ධා චරිතයා ය. දෙනු කැමති බව, ගුණවතුන් දකිනු කැමති බව, දහම් අසනු කැමති බව, පැහැදිය යුත්තන් කෙරෙහි පහදින බව, ප්‍රීතිය බහුල බව යනාදිය ශ්‍ර‍ද්ධා චරිතයා ගේ ලක්ෂණයෝ ය. ඇතැම් කරුණුවලින් ශ්‍ර‍ද්ධා චරිතයා රාග චරිතයාට සමාන ය.

නුවණ වැඩි තැනැත්තා බුද්ධි චරිතයා ය. සුවච බව, කලණ මිතුරන් ඇති බව, ආහාරයෙහි පමණ දන්නා බව, සිහි නුවණ ඇති බව, ගැඹුරු දේ තේරුම් ගැනීමෙහි සමත් බව, විමසා කටයුතු කරන බව, අනුන් කී පමණින් නො පිළිගන්නා බව, සැම දෙයක් ම ක්‍ර‍මානුකූල ව කරන බව යනාදිය බුද්ධි චරිතයාගේ ලක්ෂණයෝ ය. සමහර කරුණු වලින් බුද්ධි චරිතයා ද්වේෂ චරිතයාට සමානය.

විතර්ක බහුල තැනැත්තා විතර්ක චරිතයා ය. සිත එකඟ කිරීමට අපහසු බව, කතා වැඩි බව, බොහෝ දෙනා හා එක් ව හැසිරෙන බව, නොයෙක් දේ නිතර කල්පනා කරන බව, කුසල් කිරීමෙහි සතුටක් නැති බව, ඉක්මනින් අදහස් වෙනස් කරන බව යනාදිය විතර්ක චරිතයා ගේ ලක්ෂණයෝ ය. ඇතැම් කරුණුවලින් විතර්ක චරිතයා මෝහ චරිතයාට සමාන ය.

චරිතයට සුදුසු කමටහන්

අශුභ දශකය, කායගතාසතිය ය යන මේ කමටහන් එකොළොස රාග චරිතයාට සුදුසු ය. කායගතාසතිය යනු කේශාදි කොට්ඨාසයන් පිළිබඳ භාවනාව ය. රාග චරිතයට විශේෂයෙන් සමාධියට බාධක වන්නේ රාගය ය. මේ කමටහන් එකොළොස රාගයට විරුද්ධ ය. රාගය දුරු කරන භාවනාවය. එබැවින් ඒවා රාග චරිතයාට සත්ප්‍රාස ය.

අප්‍ර‍මාණ්‍ය සතර ය, නීල - පීත - ලෝහිත - ඕදාත කසිණ සතර ය යන කමටහන් අට ද්වේෂ චරිතයාට යෝග්‍ය ය. අප්‍ර‍මාණ්‍ය භාවනා කරතහොත් රාග චරිතයාට භාවනාවට අරමුණු වන පුද්ගලයන් ගැන රාගය සමහර විට ඇති විය හැකිය. නීලාදී වර්ණයන් ගැන ද රාගය ඇති විය හැකි ය. එබැවින් ඒවා රාග චරිතයාට අයෝග්‍ය ය. අශුභයන් අරමුණු කොට භාවනා කරන කල්හි ද්වේෂ චරිතයාට භාවනාරම්මණය ගැන ද ද්වේෂය හෙවත් නො සතුට ඇති විය හැකිය. එබැවින් අශුභ භාවනාව ද්වේෂ චරිතයාට අයෝග්‍ය ය.

ආනාපාන භාවනාව මෝහ චරිතයාට හා විතර්ක චරිතයාට යෝග්‍ය ය. මෝහ චරිතයා ද විතර්ක චරිතයා මෙන් වික්ෂිප්ත පුද්ගලයෙකි. පුද්ගලයා කෙරෙහි නො නැවතී නැවත නැවත ඇති වන ආශ්වාස ප්‍ර‍ශ්වාස, විසිර යන සිත නැවත නැවත තමා වෙත කැඳවන්නාක් මෙන් පවතී. එබැවින් මෝහ - විතර්ක චරිතයනට එය විශේෂයෙන් සුදුසු වේ.

බුද්ධානුස්සති - ධම්මානුස්සති - සඞ්ඝානුස්සති - සීලානුස්සති - චාගානුස්සති - දේවතානුස්සති යන කමටහන් සය ශ්‍ර‍ද්ධා බහුල පුද්ගලයාට ප්‍රිය බැවින් ශ්‍ර‍ද්ධා චරිතයාට සුදුසු ය.

මරණානුස්සතිය, උපසමානුස්සතිය, ආහාරයෙහි ප්‍ර‍තිකූල සංඥාව, චතුර්ධාතු ව්‍යවස්ථානය යන කමටහන් සතර බුද්ධි චරිතයාට සුදුසු ය. ඒවා ගැඹුරු බැවින් බුද්ධි චරිතයාට යෝග්‍ය ය. සෙස්සන්ට වඩා යෝග්‍ය නැත.

පඨවි - ආපෝ - තේජෝ - වායෝ - ආකාශ - ආලෝක යන කසිණ සය හා ආරුප්‍ය සතර ය යන කමටහන් දශය සැම දෙනාට ම යෝග්‍ය ය.

කසිණ භාවනා කිරීමේ දී මහත් වූ කසිණ මණ්ඩලය මෝහ චරිතයාට යෝග්‍ය ය. කුඩා කසිණය වැඩීමේදී මෝහ චරිතයාගේ සිත වඩාත් මුළා විය හැකි ය. එක් වියත් සතර අඟල් පමණ වූ කුඩා කසිණ මණ්ඩලය විතර්ක චරිතයාට යෝග්‍ය ය. මහත් වූ කසිණ මණ්ඩලයෙහි භාවනා කරන කල්හි විතර්ක චරිතයාගේ සිත එහි කොටස්වලට යන බැවිනි. කසිණ භාවනාව සම්පූර්ණ මණ්ඩලය ම එකවර සිතට ගැනීම් වශයෙන් කළ යුත්තකි.

4 වන පාඩම

ඒ ඒ භාවනාව ලැබෙන/නො ලැබෙන කමටහන්

සියලු ම සමසතළිස්කර්මස්තානයන්හි ම පරිකර්ම භාවනාව ලැබේ. බුද්ධානුස්මෘති - ධර්මානුස්මෘති - සඞ්ඝානුස්මෘති - ශීලානුස්මෘති - ත්‍යාගානුස්මෘති - දේවතානුස්මෘති - උපසමානුස්මෘති - මරණානුස්මෘති - ආහාරයෙහි ප්‍ර‍තිකූල සංඥා - චතුර්ධාතු ව්‍යවස්ථාන යන කමහටන් දසයෙහි උපචාර භාවනාව පමණක් සිද්ධ වේ. අර්පණා භාවනාව සිදු නො වේ. අර්පණා භාවනාව සිදු නො වීමය යි කියනුයේ ඒ භාවනා දශයෙන් ධ්‍යාන නො ලැබිය හැකි බව ය. ධ්‍යාන ලැබිය හැක්කේ පහසුවෙන් සිත පිහිටුවා ගත හැකි ප්‍ර‍කට කර ගත හැකි අරමුණකින් ය. බුද්ධ ගුණාදිය ගැඹුරු බැවින් ද, බොහෝ බැවින් ද, ඒවා සිතට හොඳින් හසු කර ගෙන ඒවායේ නිශ්චල කොට සිත පිහිටුවීමට දුෂ්කරය. එබැවින් කියන ලද කමටහන් දශයෙන් උපචාර සමාධිය මිස, රූපාවචරාරූපාවචර ධ්‍යාන නූපදවිය හැකිය. ධ්‍යාන ඉපදවිය හැක්කේ ඉතිරි කමටහන් තිසෙන් පමණෙකි.

ධ්‍යාන ඉපදවිය හැකි කමටහන් සියල්ලෙන් ම ධ්‍යාන සියල්ල ම උපදවන්නටත් නො පිළිවන. ඒ ඒ කමටහන්වලින් ඉපද විය හැකි ධ්‍යාන මතු දැක්වෙන පරිදි දත යුතු ය.

කසිණ දශය ය, ආනාපානය යන මේ කමටහන් එකොළොසින් ධ්‍යාන පස ම ඉපදවිය හැකි ය.

අශුභ දශය ය, කායගතාසතිය යන කමටහන් එකොළොසෙන් ඉපද විය හැක්කේ ප්‍ර‍ථම ධ්‍යානය පමණෙකි. ඒවායින් ප්‍ර‍ථම ධ්‍යානය උපදවා ගත් යෝගාවචරයා විසින් ද්විතීය ධ්‍යානාදිය ඉපදවීමට අනික් කමටහනක් වැඩිය යුතු ය. මළ සිරුරුවල හා කෙස් ලොම් ආදි කුණප කොටස්වල ද; සිහි කරන තැනැත්තාගේ සිත ඒවායින් ඈත් කරන ස්වභාවයක් මිස සිත් ඇදගන්නා ස්වභාවයක් ඇත්තේ ම නැත. සිතට පිළිකුලක් ඇති කරන ස්වභාවය මිස සතුටක් ඇති කර තමා කරා ඇදගන්නා ස්වභාවය මඳකුදු නැති ප්‍ර‍තිකූලාරම්මණයන්හි සිත පිහිට වන්නේ විතර්කයේ බලයෙනි. ද්විතීයාදි ධ්‍යානවල අරමුණ කරා සිත ගෙන යන විතර්කය නැත. එබැවින් අශුභාරම්මණයන්හි විතර්කය නැති ධ්‍යානයෝ නූපදිති.

මෛත්‍රී - කරුණා - මුදිතා යන කමටහන් තුනෙන් ප්‍ර‍ථම ද්විතීය තෘතීය චතුර්ථධ්‍යාන සතර ඉපදවිය හැකි ය. පඤ්චමධ්‍යානය ඒවායින් නො ලැබිය හැකිය. මෛත්‍රිය වනාහි දොම්නසින් හටගන්නා වූ ව්‍යාපාදයට විරුද්ධ ධර්මයෙකි. කරුණාව දොම්නසින් හට ගන්නා වූ හිංසාවට විරුද්ධ ධර්මයෙකි. මුදිතාව දොම්නසින් හට ගන්නා වූ අරති නම් වූ නො සතුට ට විරුද්ධ ධර්මයෙකි. එබැවින් මෛත්‍රී කරුණා මුදිතාවන් බලවත් ව ඇති වීමට සෝමනස්ස තිබිය යුතු ය. ප්‍ර‍ථමාදි ධ්‍යාන සතර සෝමනස්ස සහගත වන බැවින් මෛත්‍රී ආදි තුනෙන් ඒ ධ්‍යාන ඉපදවිය හැකි ය. පඤ්චම ධ්‍යානය උපේක්ෂා සහගත වන බැවින් මෛත්‍රී ආදි තුනෙන් එය නො ඉපද විය හැකි ය.

උපේක්ෂා කර්මස්ථානයෙන් පඤ්චම ධ්‍යානය පමණක් ඉපදවිය හැකි ය. උපේක්ෂා භාවනාව වනාහි සත්ත්වයන් කෙරෙහි මධ්‍යස්ථතාවෙන් කළ යුත්තක් වන බැවින් එයින් උපේක්ෂා සහගත ධ්‍යානයක් ම මිස සෝමනස්ස සහගත ධ්‍යානයක් නො ඉපද විය හැකි ය.

කසිණුග්ඝාටිමාකාසාදි අරූපාවචරාරම්මණ සතර අරූපධ්‍යාන උපදවන කර්මස්ථානයෝ ය.

භාවනා නිමිති

නිමිති අතුරෙන් පරිකර්ම නිමිත්ත හා උද්ග්‍ර‍හ නිමිත්ත සියලු ම කර්මස්ථානවලින් සුදුසු පරිදි ලැබෙන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්ත වනාහි කසිණ දශය ය, අශුභ දශය ය, කේශාදි කොට්ඨාස භාවනාව ය, ආනාපාන භාවනා ය යන කමටහන් දෙ විස්සෙන් පමණක් ලැබේ. උපචාර අර්පණා සමාධීහු ප්‍ර‍තිභාග නිමිත්ත අරමුණු කොට ඇති වන්නාහ.

3. කසිණ භාවනාව

5 වන පාඩම

දානය, ශීලය, භාවනාවය කියා පින් තුන් කොටසක් ඇත්තේ ය. දාන ශීල දෙකින් ලැබිය හැකි ඵල සියල්ල ම භාවනාමය කුශලයෙන් ද ලැබෙන්නේ ය. එහෙත් භාවනාමය කුශලයෙන් ලැබෙන උසස් ඵල උසස් අනුසස් භාවනාමය කුශලයෙන් ම මිස, දාන ශීල දෙකින් නො ලැබිය හැකි ය. එබැවින් කුශලයන්ගෙන් උසස් කුශලය භාවනාමය කුශලය බව දත යුතු ය.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව පිළිපැදීමෙන් ලබන්නට ඇති උසස් ම දෙය නිර්වාණය ය. එය ලැබිය හැක්කේ නුවණ දියුණු කර ගැනීමෙන් ය. නුවණ දියුණු කිරීම හැර, එය ලබන තවත් ක්‍ර‍මයක් නැත්තේ ය. නිවන් ලබා දෙන ලෝකෝත්තර ඥානය ඇති වන තෙක් නුවණ දියුණු වීමට කරන්නට ඇත්තා වූ එක ම දෙය විදර්ශනා භාවනාව ය. භාවනාවෙන් වුව ද නුවණ දියුණු වීමට සමාධියත් තිබිය යුතු ය. එබැවින් සමාධිය දියුණු වීම සඳහා ශමථ භාවනාව කළ යුතු ය. බුද්ධාගම ඇදහීමෙන් ලබා ගත යුතු උසස් ඵල ලැබීමට නම්, සෑම බෞද්ධයකු විසින් ම යම් කිසි භාවනාවක් ද කළ යුතු ය.

භාවනා කිරීමේ ක්‍ර‍ම දෙකකි. විශුද්ධි මාර්ගාදි පොත්වල විස්තර කර තිබෙන්නේ වර්තමාන භවයේදී ම ධ්‍යාන මාර්ග ඵල ලැබීම සඳහා භාවනා කරන ක්‍ර‍මය ය. එයත් ගිහියකු විසින් කරන ක්‍ර‍මය නො ව, පැවිද්දකු විසින් කරන ක්‍ර‍මය ය. එය කිරීමට ඉතා දුෂ්කර වැඩ පිළිවෙළකි. එය කළ හැක්කේ ද ජීවිතයේ අන් සියලු ම බලාපොරොත්තු හැර දමා, ජීවිතය ධ්‍යානාදි ධර්ම ලැබීම සඳහා ම කැප කිරීමට තරම් ධෛර්‍ය්‍යය ඇති විශේෂ පුද්ගලයන්ට පමණෙකි. ලෝකයෙහි එබඳු අය දුර්ලභ ය. ඇත්තේ දස දහස් ගණනකට එක් කෙනෙක් පමණෙකි. භාවනාමය කුශලය ලබා ගැනීමටත් සසරට පුරුදු කර ගැනීමටත් තමාගේ අනික් වැඩ කරන අතර ම හැකි පමණින් භාවනාවේ යෙදීම භාවනා කිරීමේ අනික් ක්‍ර‍මය ය. එසේ කරන තැනැත්තා විසින් තමාගේ කාලයෙන් යම් කිසි ප්‍ර‍මාණයක් භාවනා සඳහා වෙන් කර ගෙන ඒ කාලයේ දී යම් කිසි භාවනාවක් කළ යුතු ය.

භාවනා කිරීමේ පරමාර්ථය සිතේ තත්ත්වය උසස් කර ගැනීම ය. සිත දියුණු කිරීම ය. එක් එක් පුද්ගලයකුට නාම-කාය ය, රූප - කාය ය කියා දෙකක් (ශරීර දෙකක්) ඇත්තේ ය. රූප - කය යනු ඇසට පෙනෙන්නට ඇත්තා වූ ශරීර ය ය. නාම-කය ය කියනුයේ රූප - කය පාලනය කරන රූප - කය හසුරුවන ඒ රූප - කය තුළ පිහිටි විඤ්ඤාණ ධාතුපරම්පරාව ය. නාම - කය ශරීරයෙන් තුරන් වුවහොත් ඉන් පසු රූප-කයෙන් ගත හැකි ප්‍රයෝජනයක් නැත. එය පසට යට කර දැමිය යුත්තක් වන්නේ ය. වර්තමාන භවයේ රූප-කය අනාගත භවයේදී ලැබෙන රූප-කයට සම්බන්ධ නොවන්නේ ය. අනාගත භව පරම්පරාවට සම්බන්ධ වන්නේ නාම-කාය නම් වූ සත්ත්වයාගේ චිත්ත පරම්පරාව ය. එබැවින් සත්ත්වයාගේ ප්‍ර‍ධාන කොට්ඨාසය රූප-කය නො ව, නාම - කය බව දත යුතු ය. සත්ත්වයාගේ හරයත් එය ම ය. එබැවින් නාම-කයට වැඩි සැලකිල්ලක් කළ යුතුය.

එහෙත් බොහෝ දෙනා රූප - කය වැඩිදියුණු කිරීමට ආරක්ෂා කිරීමට සැරසීමට තමන්ගේ සම්පූර්ණ කාලය ගත කරනවා මිස, නාම-කය ගැන කිසිවක් නො කරති. එය දියුණු කළ යුතු බවක් ආරක්ෂා කළ යුතු බවක් නො දනිති. රූප-කයට වන නපුරකින් සිදුවන පාඩුව, සිදුවන දුක එක භවයකට පමණකි. නාම - කය නරක් වීමෙන් භව පරම්පරාවට ම හානියක් වන්නේ ය. එබැවින් තමාගේ කාලයෙන් යම් කිසි එක් කොටසක් නාම-කය දියුණු කිරීමට ආරක්ෂා කිරීමට තබා ගත යුතු ය. දවසක ඇති පැය විසි හතරෙන් පැය බාගයක් වත් ඒ සඳහා වෙන් කර ගත යුතු ය. ඒ කාලයේ දී යම් කිසි භාවනාවක් කරනු.

ශීලය භාවනාවේ අත්තිවාරම ය. එබැවින් භාවනා කරන තැනැත්තා ගිහියෙක් නම් ගිහියාට නිසි ශීලයක ද පැවිද්දෙක් පැවිද්දෙක් නම් පැවිද්දාට නිසි ශීලයෙහි ද පිහිටා භාවනා කළ යුතු ය. මෙසේ කීමෙන් පිරිසිදු සිල් නැතියකු විසින් භාවනා කළ හොත් එයින් ඔහුට ප්‍රයෝජනයක් නො වේය කියා හෝ නපුරක් වේය කියා හෝ නො සිතිය යුතු ය. පිරිසිදු සිල් නැති තැනැත්තාට ද භාවනාව සුදුසු ය. ශීලය අපිරිසිදු වුව ද භාවනා කළ හොත් භාවනාමය කුශලය ලැබෙන්නේ ය. කලක් භාවනා කරන කල්හි එයින් ඔහුට ක්‍ර‍මයෙන් සිල් රැකිය හැකි ශක්තිය ද ලැබෙන්නේ ය.

කර්මස්ථානයන් අතුරෙන් පඨවි කසිණය සැම දෙනාට ම සුදුසු කර්මස්ථානයෙකි. චරිතයට සුදුසු කමටහන් සෙවිය යුත්තේ, මෙලොව ම ධ්‍යානාදිය ලබනු පිණිස භාවනා කරන අය විසිනි. සාමාන්‍යයෙන් භාවනා කරන්නවුන්ට කවර කමටහනක් වුව ද වරද නැත.

පඨවි කසිණය වැඩි අපහසුවක් නැති ව සාදා ගත හැකි ය. ඒ සඳහා ගත යුත්තේ තරමක රතු පස් ය. තද රතු පස ගත හොත් ලෝහිත කසිණය හා අවුල් වේ. රොඩු හා ගල් කැට ඉවත් කොට මැටි ටික හොඳින් අනා ගත යුතු ය. සරසින් කෝදුවේ අඟල් වලින් අඟල් දහයක් එකොළහක් තරම බන්දේසියක් ඇති නම් ඒ මැටි එයට දමා මට්ටම් කොට වේලා ගත්තා ම පඨවි කසිණය වේ. සමහරවිට වේලීමේදී එහි මට්ටම නැති වී යා හැකි ය. එසේ වුවහොත් නැවත උඩින් මැටි ගා මට්ටම් කර ගත යුතු ය.

පඨවි කසිණය ලෑල්ලක සාදන්නේ මෙසේ ය:- කසිණයේ ප්‍ර‍මාණයට රවුමට ලෑල්ලක් කපා ගත යුතු ය. අඟල් බාගයක් පමණ මතු වී තිබෙන පරිදි එහි සැම තැන ම අඟල් දෙකෙන් දෙකෙන් තරමට කුඩා ඇණ ගසනු. ඉක්බති පදම් කළ රතු මැටි එහි ලා ඇණ යට කොට රොටියක් සේ මණ්ඩලය තනනු. ඇණ ගැසිය යුත්තේ වියළුණු පසු මැටි තට්ටුව ලෑල්ලෙන් ගැලවී නො යාම පිණිස ය. වියළීමෙන් පසු මට්ටම නැති වී ගියහොත් නැවත මට්ටම් කර ගත යුතුය. ලෑල්ලු රවුම් කර ගැනීම අපහසු නම් සතරැස් ලෑල්ලක කවයක් ඇඳ එහි ඇණ ගසා කසිණ මණ්ඩලය සාදා ගත යුතු ය. සුදුසු විවේක තැනක බිම වුව ද කසිණ මණ්ඩලය තනා ගැනීම සුදුසු ය. කසිණ මණ්ඩලය තැනීමේ දී මැටිවලට සිමෙන්ති ස්වල්පයක් මිශ්‍ර‍ කර ගැනීමෙන් ශක්තිමත් මණ්ඩලයක් සාදා ගත හැකි ය. සිමෙන්ති මිශ්‍ර‍ කොට සෑදූ කසිණ මණ්ඩලය වියළුණු පසු උඩින් තුනියට මැටි පමණක් ආලේප කොට මට්ටම් කර ගත යුතු ය.

6 වන පාඩම

කියන ලද පරිදි සාදා ගත් කසිණ මණ්ඩලය ජනයා නො පැමිණෙන ශබ්ද අඩු විවේක ස්ථානයකට ගෙන ගොස්, වාඩිවීමට එක් වියත් සතරඟුලක් පමණ උස් අසුනක් පිළියෙළ කොට, එයට දෙරියන් හමාරක් පමණ දුරින් මණ්ඩලය බිම තබා අසුනෙහි බද්ධ පර්‍ය්‍යඞ්කයෙන් වාඩි වී කසිණ මණ්ඩලය දෙස බලා ගෙන භාවනා කළ යුතු ය. වතුර නා ශරීරය පිරිසිදු කරගෙන පිරිසිදු වස්ත්‍ර‍යක් හැඳ ගෙන භාවනාවට වාඩිවීම ඉතා හොඳ ය. හැම විට ම එසේ කළ නො හෙන බැවින් ශරීරයේ යම් යම් තැනක් අපිරිසිදු වී ඇති නම් ඒ තැන් පිරිසිදු කර ගෙන භාවනාවට වාඩි වෙනු. වාඩි වී පළමුවෙන් තමා දන්නා සැටියට රත්නත්‍රයේ ගුණ සිහි කර සිත ප්‍රීතිමත් කර ගත යුතු ය.

රත්නත්‍රයේ ම ගුණ සිහි කළ නො හැකි නම් බුදු ගුණ පමණවත් සිහි කොට ප්‍රීතිය ඇති කර ගත යුතු ය. ඉක්බිති කීප විටක් ආරක්ෂක දේවතාවන්ට හා සකල සත්ත්වයන්ට මෙත් වඩනු.

ඉක්බිති “මම ද බුද්ධාදි මහෝත්තමයන් වහන්සේලා ගිය මඟ යෙමි, මේ ප්‍ර‍තිපත්තියෙන් මමද බුද්ධාදි මහෝත්තමයන් පැමිණියා වූ නිවනට පැමිණෙමිය” යි සිතා, උත්සාහය ඇති කර ගෙන, ඇස් වඩා අරින්නේත් නැති ව වඩා වසන්නේත් නැති ව කසිණ මණ්ඩලයට යොමු කොට තබා “මාගේ සිත මෙහි ම පිහිටාවා, මින් බැහැරට නොයේවා ය” කියා දෙතුන් වරක් ඉටා ගෙන අතින් යම් කිසිවක් තද කර ගන්නාක් මෙන් සිතින් කසිණ මණ්ඩලය තද කර ගෙන කසිණ මණ්ඩලයෙහි සිත පිහිටුව ගෙන ශරීරය නිශ්චල ව තබා ගෙන ඇසිපිය නො හෙළා “පඨවි - පඨවි” කියා හෝ “පසය - පසය” කියා හෝ මෙනෙහි කරමින් වාසය කරනු.

යෝගාවචරයකුට දුෂ්කර කාරණය ශරීරය ජය ගැනීම ය. ශරීරය ජය ගැනීම ය යනු පැයක් දෙකක් අමාරුවක් නැති ව ශරීරය නිශ්චල ව තැබිය හැකි තත්ත්වයට පමුණුවා ගැනීම ය. ශරීරය නිශ්චල ව තැබිය හැකි වන තුරු සමාධිය නො ලැබේ. ඇස ඇරගෙන බලා සිටිය නො හැකි වූ විට ඇස පියා ගෙන කසිණය සිහි කරනු. ඇස පියා ගෙන කසිණය සිහි කරන විට ඇස හැර බලන කල්හි මෙන් සිතට කසිණය පෙනෙත හොත් ඇස නො හැර ම එය සිහි කරමින් එහි ම සිත පිහිටවා ගෙන වාසය කරනු. නො පෙනෙතොත් නැවත ඇස ඇර බලා ගෙන භාවනා කරනු.

මැස්සකු ඇඟේ වැසුවාට කුහුඹුවකු ඇඟේ ඇවිද්දාට මදුරුවකු විද්දාට ශරීරය නො සොලවන්න. ඒ සියල්ල ඉවසනු. නිශ්චලව සිටීම ශරීරයට නුපුරුදු වැඩකි. එබැවින් නො සෙල් වී ඉන්නා කල්හි ශරීරයේ තැනිත් තැන නොයෙක් වේදනා ඇති වේ. ඒවා ඉවසිමෙන් විඳ දරා ගන්න. කල් යාමෙන් ශරීරය හැඩ ගැසී නිශ්චල ව සිටීමේ දී වේදනා ඇති නො වී අමුතු සනීපයක් දැනෙන තත්ත්වයට පැමිණෙනු ඇත.

ඇස පියා ගෙන කසිණ මණ්ඩලය සිහි කරන කල්හි කසිණ මණ්ඩලයත් සමඟ තවත් නොයෙක් දේ පෙනෙන්නට විය හැකි ය. ඒවායින් ප්‍රයෝජනයක් හෝ නපුරක් නැත. ඒවා ගැන සැලකිල්ලක් නොදක්වනු. ඒ පෙනෙන දේවල් ගැන සතුටු වී ඒවා ගැන බලාපොරොත්තු වුවහොත් ඉමක් කොනක් නැතිව නොයෙක් දේ පෙනෙන්නට වී භාවනාව අවුල් වී යා හැකි ය. ඇස ඇර ගෙන ඉන්නා කාලයේදී ද නොයෙක් දේ පෙනෙන්නට විය හැකි ය. ඒ පෙනෙන කිසිවක් සත්‍ය වශයෙන් ඇති ඒවා නො වේ. ඒවාට නො රැවටෙනු. නොයෙක් දේ පෙනෙන්නට පටන් ගන්නේ තරමක් සමාධිය දියුණු වන කාලයේ දී ය.

භාවනාවෙහි යෙදී ඉන්නා කාලයේ සමහර විට ප්‍ර‍කෘතියෙන් ඉන්නා කල නො ඇසෙන ඉතා කුඩා ශබ්ද පවා ඇසෙන්නට පටන් ගනී. අමුතු ශබ්ද ඇසෙනවාය කියා ඒවා ගැන සැලකිල්ලක් නො කරනු. කැරපොත්තකු - සූනකු එහා මෙහා යන ශබ්දය වැනි කුඩා ශබ්ද මහා ශබ්ද සැටියට ඇසෙන්නට පිළිවන. කොපමණ මහත් ශබ්දයක් ඇසුණත් ගණන් නො ගෙන තමාගේ භාවනාව නිසි පරිදි කර ගෙන යනු. සමහර විට ආලෝකයක් ඇති විය හැකි ය. එයින් ද භාවනාවට ඇති ප්‍රයෝජනයක් නැත. ඒ නිසා අමුතුවෙන් පෙනෙන ඇසෙන කිසිවක් ගණන් නො ගෙන කිසිවකට සිත යොමු නො කොට උත්සාහයෙන් කසිණ මණ්ඩලය ම මෙනෙහි කරන්න.

දිනකට පැයක් පමණ කියන ලද පරිදි මාස කීපයක් දින පතා භවනාවෙහි යෙදුනහොත් තරමක සමාධියක් ඇති වේ. ඉන් පසු ඔහුට භාවනාව මිහිරි වනු ඇත. සැපයක් වනු ඇත. තරමකට සිහි නුවණ දියුණු වනු ඇත. සමාධිය ලැබූ තැනැත්තා පවින් තොර ව වාසය කරන ශාන්ත පුද්ගලයකු වනු ඇත.

වර්තමාන භවයේදී ම ධ්‍යාන ලැබීමේ බලාපොරොත්තුවෙන් සකල දෝෂයන් දුරු කොට මහත් උත්සාහයෙන් කසිණ භාවනාව නියම ක්‍ර‍මයට ම කර ගෙන යන්නා වූ පෙර පින් ද ඇති යෝගාවචරයනට කියන ලද පරිදි කසිණ භාවනාව කලක් කර ගෙන යන කල්හි ඇස පියා කසිණ මණ්ඩලය සිහි කරන කල්හි ද, කිසි අවුලක් නැති ව ඇස හැර බැලීමේ දී පෙනෙන්නාක් මෙන් කසිණ මණ්ඩලය සිතට ම පෙනෙන්නට වන්නේ ය. එසේ පෙනෙන කසිණ නිමිත්තට උද්ග්‍ර‍හ නිමිත්ත යයි කියනු ලැබේ.

උද්ග්‍ර‍හ නිමිත්ත ලද හොත් කසිණ මණ්ඩලය සමීපයේ නො හිඳ අන් තැනකට ගොස් සුවසේ හිඳ උද්ග්‍ර‍හ නිමිත්ත මෙනෙහි කරන්නට පටන් ගත යුතු ය. උද්ග්‍ර‍හ නිමිත්ත මෙනෙහි කරන්නේ ද “පඨවිය, පඨවිය” කියා ම ය. උද්ග්‍ර‍හ නිමිත්ත, වෙන වැඩවල යෙදුන හොත් ඉක්මනින් නැති වන්නකි. එය නැති වන්නට නො දී මහත් උත්සාහයෙන් රැක ගත යුතු ය.

උද්ග්‍ර‍හ නිමිත්ත ලබා එය අරමුණු කොට භාවනාවෙහි යෙදෙන යෝගාවචරයා හට පඤ්චනීවරණයෝ බොහෝ දුරට සන්සිඳෙති. උපචාර සමාධියෙන් සිත ද බොහෝ දුරට සන්සිඳේ. උද්ග්‍ර‍හ නිමිත්ත අරමුණු කොට භාවනාව පවත්වා ගෙන යන යෝගාවචරයාට නීවරණයන් වඩ වඩා යටපත් වී සිත පහන් වන කල්හි යම් කිසි අවස්ථාවක දී ඔප කළ ස්වර්ණ මණ්ඩලයක් සේ, ළහිරු මඬලක් සේ, කසිණ මණ්ඩලය ඉතා පැහැපත් ව වැටහෙන්නට පටන් ගනී. ඒ පැහැපත් ව වැටහෙන කසිණ නිමිත්තට ප්‍ර‍තිභාග නිමිත්ත යයි කියනු ලැබේ. ප්‍ර‍තිභාග නිමිත්ත අරමුණු කොට භාවනාව පවත්වා ගෙන යන යෝගාවචරයා හට වඩාත් නීවරණයන් දුරු වී සමාධිය වැඩී ඒ ආරම්මණයෙහි යම් කිසි අවස්ථාවක දී විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා යන පඤ්චාඞ්ගයෙන් යුක්ත වන ප්‍ර‍ථම රූපාවචර ධ්‍යාන චිත්තය පහළ වන්නේ ය. ඒ ධ්‍යාන චිත්තයට අර්පණා චිත්තය යි ද කියනු ලැබේ.

කොතෙක් දියුණු කළ කාමාවචර ජවන චිත්තය වුව ද වරක් ආවර්ජනා කළ ආරම්මණයෙහි උපදින්නේ සත් වරක් පමණෙකි. ඉන් පසු භවාඞ්ග වේ. රූපාවචර ධ්‍යාන චිත්තය වනාහි වරක් අරමුණ ආවර්ජනය කොට උපදවා ගත් කල්හි දවස මුළුල්ලේ ම වුව ද භවාඞ්ග පතනය නො වී ඒ සිත ම නැවත නැවත උපදිමින් පවතී. කාමාවචර චිත්තයේ හා අර්පණා චිත්තයේ වෙනස එය ය.

4. ද්විතීයාදි ධ්‍යාන

7 වන පාඩම

ප්‍ර‍ථම ධ්‍යානය ලැබූ යෝගාවචරයා විසින් ද්විතීය ධ්‍යානය ලැබිය හැකි වීම පිණිස ප්‍ර‍ථම ධ්‍යානයෙහි ආවර්ජන වශීතාය, සමාපජ්ජන වශීතාය, අධිෂ්ඨාන වශීතාය, ව්‍යුස්ථාන වශීතාය, ප්‍ර‍ත්‍යවේක්ෂා වශීතාය යන පඤ්චප්‍ර‍කාර වශීභාවය ඇති කර ගත යුතු ය. ප්‍ර‍ථම ධ්‍යානයේ අඞ්ගයන් කල් නො යවා එකින් එක ඉතා ඉක්මනින් මෙනෙහි කිරීමේ ශක්තිය ආවර්ජන වශීතාව ය. ධ්‍යානයට සමවදිනු කැමති වූ විට කල් ගත නො වී වහා සමවැදිය හැකි ශක්තිය සමාපජ්ජන වශීතා නමි. සමවැදුණු ධ්‍යානය තත්පරයක් දෙකක් තරම සුළු කාලයක් වුව ද පවත්වන්නට සමත් බව අධිෂ්ඨාන වශීතා නමි. ඉටාගත් වෙලාව ඉක්ම යා නො දී වෙලාවට ම ධ්‍යානයෙන් නැගිටීමට සමත් බව ව්‍යුස්ථාන වශීතා නම් වේ. එක් එක් වීථියක කාමාවචර ජවනය සත් වරක් ම ඇති වීම සාමාන්‍ය ස්වභාවය ය. විතර්කාදිය මෙනෙහි කිරීමේ දී ප්‍ර‍ත්‍යවේක්ෂා වීථිවල ජවන් සතක් ද ඇති නො වන පරිදි ඉතා වේගයෙන් ධ්‍යානාඞ්ග ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීමේ සමත් බව ප්‍ර‍ත්‍යවේක්ෂා වශීතා නමි.

මෙසේ ප්‍ර‍ථම ධ්‍යානයෙහි වශීභාවය ඇති කර ගත් යෝගාවචරයාහට ප්‍ර‍ථම ධ්‍යානයේ අඞ්ගයක් වන විතර්කය ඖදාරික දෙයක් සැටියට ද, එය නැතිව ධ්‍යානය ඇති කර ගැනීම හොඳ සැටියට ද වැටහේ. ඔහු විතර්කයෙන් තොර වූ ධ්‍යානයක් ලබනු රිසියෙන් නැවතත් ‘පඨවි, පඨවි’ කියා කසිණ ප්‍ර‍තිභාග මෙනෙහි කරන්නට පටන් ගන්නේ ය. ඔහුගේ ඒ භාවනාව විතර්කය නමැති ඖදාරික ධ්‍යානාඞ්ගය දුරු කිරීමට කරන්නක් බැවින් විතර්ක විරාග භාවනා නම් වේ. ඒ විතර්ක විරාග භාවනාවේ බලයෙන් ඔහුට යම් කිසි අවස්ථාවක දී ඒ පඨවි කසිණ නිමිත්තෙහි විචාර ප්‍රීති - සුඛ - ඒකාග්‍ර‍තා යන චතුරඞ්ගයෙන් යුක්ත වන ද්විතීය ධ්‍යාන චිත්තය උපදනේ ය.

ද්විතීය ධ්‍යානයෙහි වශීභාවය ඇති කර ගත් යෝගාවචරයාහට විචාරය ඖදාරිකාඞ්ගයක් වශයෙන් පෙනෙන්නට වන්නේ ය. තෘතීය ධ්‍යානය ලබා වශී භාවය ඇති කර ගත් යෝගාවචරයාහට ප්‍රීතිය ඖදාරිකාඞ්ගයක් වශයෙන් ද, චතුර්ථ ධ්‍යානය ලබාගත් යෝගාවචරයා හට සුඛය ඖදාරිකාංගයක් වශයෙන් ද පෙනෙන්නට වේ. ඖදාරිකාඞ්ගය ඉක්මවීමේ අදහසින් පඨවි කසිණ නිමිත්තෙහි පරිකර්ම කිරීමෙන් ක්‍ර‍මයෙන් තෘතීය චතුර්ථ පඤ්චම ධ්‍යානයෝ ද උපදනාහ. ආපෝ කසිණාදි ඉතිරි කසිණ නවයෙන් ධ්‍යාන ඉපදවීම කරන්නේ ද කියන ලද ක්‍ර‍මයෙන් ම ය.

අරූප ධ්‍යාන

එක් කසිණයකින් ධ්‍යාන ලබා ගත් යෝගාවචරයාට කසිණ මණ්ඩල සාදා භාවනා කිරීමක් නො කොට ඒ ඒ කසිණයන් සිතීමෙන් ම නිමිත්ත උපදවා තමාගේ ධ්‍යානය කැමති කසිණයකට පමුණුවා ගත හැකිය. එසේ ම කසිණ නිමිති ද වුවමනා තරමට සිතින් ම මහත් කර ගත හැකි ය. අරූපධ්‍යාන උපදවන්නේ කසිණ නිමිතිවලින් උපුටා ගන්නා ආකාශ නිමිත්තෙහි පරිකර්ම කිරීමෙනි. ආකාශය උපුටා ගත හැකි වන්නේ ආකාශ කසිණය හැර අනික් කසිණ නවයෙනි. ආකාශ කසිණ නිමිත්තෙන් තවත් ආකාශයක් නො ලැබිය හැකි ය.

අරූපධ්‍යාන උපදවනු කැමති යෝගාවචරයා විසින් පළමු කොට රූපාවචර පඤ්චම ධ්‍යානයෙහි පඤ්චප්‍ර‍කාර වශීභාවය ඇති කර ගත යුතු ය. ඉක්බිති ආකාශකසිණය හැර අන් කසිණයක පඤ්චම ධ්‍යානයට සමවැදී ඉන් නැගිට ධ්‍යාන චිත්තයට අරමුණු වූ කසිණ නිමිත්ත පැතිර විය යුතු ය. පැතිර වීම යයි කියනුයේ කසිණ නිමිත්ත මහත් කිරීම ය. යෝගාවචරයා සිතන සිතන සැටියට ඔහුට කසිණ නිමිත්ත මහත් වී පෙනෙන්නට වන්නේ ය. ඉක්බිති ඒ මහත් කර ගත් කසිණ නිමිත්ත පඨවි කසිණ නිමිත්ත නම් එය පඨවියක් වශයෙන් නො සිතා: ‘ආකාශය - ආකාශය’ කියා හෝ අනන්තාකාශය - අනන්තාකාශය’ කියා හෝ සිතිය යුතු ය. එසේ භාවනා කරන කල්හි රූප කසිණ නිමිත්ත නො පෙනී ගොස් ඒ කසිණ නිමිත්ත පෙනුණු පෙදෙසෙහි ආකාශය පෙනෙන්නට වන්නේ ය. කසිණයෙන් ගන්නා ලද්දක් වන බැවින් ඒ පෙනෙන ආකාශයට ‘කසිණුග්ඝාටිමාකාසය’ යි කියනු ලැබේ. එහි තේරුම කසිණයෙන් උපුටා ගත් අහසය යනුයි. කසිණුග්ඝාටිමාකාසයෙහි සිත පිහිටවා ගෙන අනන්තාකාශය කියා භාවනාවෙහි යෙදෙන යෝගාවචරයා හට යම් කිසි අවස්ථාවක දී ඒ ආරම්මණයෙහි ප්‍ර‍ථම අරූපධ්‍යාන චිත්තය වන ආකාසානඤ්චායතන ධ්‍යාන චිත්තය ඇති වන්නේ ය.

ආකාසානඤ්චායතන ධ්‍යානය ප්‍ර‍ගුණ කරගත් යෝගාවචරයා වැඩිදුරටත් රූපයෙන් ඈත්වීම පිණිස ආකාසාරම්මණය හැර දමා ආකාශය අරමුණු කොට පැවති ආකාසානඤ්චායතන චිත්තය ගෙන එය අරමුණු කරමින් “විඤ්ඤාණය අනන්තය, විඤ්ඤාණය අනන්තය” කියා භාවනා කරන්නට වන්නේ ය. එසේ කරන යෝගාවචරයා හට යම්කිසි අවස්ථාවක දී ප්‍ර‍ථමාරූප විඤ්ඤාණය අරමුණු කොට දෙවන අරූපධ්‍යාන චිත්තය වන විඤ්ඤාණඤ්චායතන චිත්තය උපදනේ ය.

විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය උපදවා ගත් යෝගාවචරයාහට ප්‍ර‍ථම අරූපාවචර චිත්තයේ නැති බව අරමුණු කොට “නත්ථි කිඤ්චි - නත්ථි කිඤ්චි” යි භාවනා කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන චිත්තය උපදනේ ය.

ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන උපදවා ගත් යෝගාවචරයාහට තුන්වන අරූපධ්‍යාන චිත්තය වූ ආකිඤ්චඤ්ඤායතන චිත්තය අරමුණු කොට “සන්තමේතං පණිතමේතං” යනුවෙන් මෙය ම ශාන්තය මෙය ම ප්‍ර‍ණීතය යි භාවනා කිරීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන චිත්තය උපදනේ ය.

5. අභිඥා ඉපදවීම

8 වන පාඩම

සෘද්ධිවිධ අභිඥාවය, දිව්‍යශ්‍රෝත්‍ර‍ අභිඥාවය, පරචිත්තවිජානන අභිඥාය, පූර්වේනිවාසානුස්මෘති අභිඥාවය, දිව්‍යචක්ෂුරභිඥාවය” යි අභිඥා පසෙකි.

අභිඥා යනු විශේෂ බලයකින් යුක්ත වන රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයට ම කියන නමෙකි. නො පෙනී සිටීම, අහසින් යාම, ජල මතුයෙහි ඇවිදීම, පොළොවෙහි ගැලීම යනාදිය හා නොයෙක් දේ මැවීමත් සිදු කිරීමට සමත් රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තය සෘද්ධිවිධ අභිඥා නම් වේ.

මිනිස් කනට නො ඇසෙන ඉතා සියුම් ශබ්ද හා බොහෝ දුර ඇතිවන ශබ්ද ද කනින් අසන්නාක් මෙන් ඇසීමට සමත් වන රූපාවචර පඤ්චම ධ්‍යානය දිව්‍ය ශ්‍රෝත්‍ර‍ අභිඥා නම් වේ.

අනුන්ගේ සිත් දැකිය හැකි වූ රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තය පරචිත්තවිජානන අභිඥා නම් වේ.

තමාගේ අතීත ජාතීන් සිහි කිරීමට සමත් රූපාවචර පඤ්චම ධ්‍යාන චිත්තය පූර්වේනිවාසානුස්මෘති අභිඥා නම් වේ.

මිනිස් ඇසට නො පෙනෙන සියුම් දේවල් හා දුර පිහිටි දේවල් ද, බිත්ති පර්වතාදියෙන් වැසී ඇති දේවල් ද, ඇසින් දක්නාක් මෙන් දැකීමට සමත් වන රූපාවචර පඤ්චම ධ්‍යාන චිත්තය දිව්‍යචක්ෂුරභිඥා නම් වේ.

ධ්‍යාන ලැබූ පමණින් හෝ රහත් වූ පමණින් හෝ අභිඥා නො ලැබේ. අභිඥා බලය ධ්‍යාන ලැබීමෙන් පසු නැවත උත්සාහ කොට ලබාගත යුතු ය. සමීප අතීත භවවලදී ධ්‍යානාභිඥා උපදවා ගෙන සිටියා වූ තැනැත්තන්ට හා බෝධිසම්භාර පුරා ඇති මහාබෝධි සත්ත්වයන්ට ධ්‍යාන ලැබීම සමඟ ම නිරුත්සාහයෙන් ම අභිඥා බලය ද ලැබේ. අභිඥා ලබනු කැමැති සාමාන්‍ය ධ්‍යාන ලාභීන්ට අෂ්ට සමාපත්ති විෂයෙහි “කසිණානු ලෝමතෝ කසිණ පටිලෝමතෝ” යනාදීන් විශුද්ධි මාර්ගාදියෙහි දක්ව ඇති තුදුස් ආකාරයෙන් සිත පුරුදු නො කොට අභිඥා බලය නො ලැබිය හැකි ය.

පඤ්චක ක්‍ර‍මය ය, චතුෂ්ක ක්‍ර‍මය ය කියා රූපාවචර ධ්‍යාන සෙවීමේ ක්‍ර‍ම දෙකක් ඇත්තේ ය. මේ පොතේ රූපාවචර ධ්‍යාන දක්වා ඇත්තේ පඤ්චක ක්‍ර‍මයෙනි. චිත්ත පරිච්ඡේදයේ රූපාවචර සිත් පසළොසක් කියා ඇත්තේ ධ්‍යානවල පඤ්චක ක්‍ර‍මය අනුව ය. රූපාවචර ප්‍ර‍ථම ධ්‍යානය ඉපද වූ ඇතැම් යෝගාවචරයෝ විතර්කවිචාර නැමැති ධ්‍යානාඞ්ග දෙක ම එකවර ඉක්මවා ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා යන අඞ්ගත්‍ර‍ය ඇති ධ්‍යානය දෙවර වරට උපදවති. ඔවුනට එය ද්විතීය ධ්‍යානය ය. පඤ්චක ක්‍ර‍මයේ සැටියට නම් එය තෘතීයධ්‍යානය ය. ඔවුහු පඤ්චක ක්‍ර‍මයේ සතර වන ධ්‍යානය තුන් වන වරට ද, පස් වන ධ්‍යානය සතර වන වරට ද උපදවති. ඔවුනට ඇත්තේ ප්‍ර‍ථම ධ්‍යානය ද්විතීය ධ්‍යානය තෘතීය ධ්‍යානය චතුර්ථ ධ්‍යානය කියා රූපාවචර ධ්‍යාන සතරෙකි. ධ්‍යානයන්ට සමාපත්ති යන නාමය ද ව්‍යවහාර කරනු ලැබේ. එබැවින් රූපාවචර ධ්‍යාන සතරය, අරූපාවචර ධ්‍යාන සතරය යන මේ අටට අෂ්ට සමාපත්තිය යි කියනු ලැබේ.

අෂ්ට සමාපත්ති ලාභියා විසින් පඨවි - ආපෝ - තේජෝ - වායෝ - නීල - පීත - ලෝහිත - ඕදාත යන කසිණ අටෙන් ම රූපාවචර ධ්‍යාන උපදවා ගත යුතු ය. ඉක්බිති පඨවි කසිණයේ පටන් ඕදාත කසිණය දක්වා ඇති කසිණයන්හි පිළිවෙළින් ධ්‍යානවලට සමවැදීම ය, ඕදාත කසිණයේ පටන් ප්‍ර‍තිලෝම වශයෙන් සියලු කසිණයන්හි ධ්‍යානවලට සමවැදීම ය, ඒ ක්‍ර‍ම දෙකින් ම ධ්‍යානවලට සමවැදීම ය යන ආදි විශුද්ධි මාර්ගයෙහි දැක්වෙන ක්‍ර‍ම තුදුසෙන් ම අෂ්ට සමාපත්තිය පුරුදු කළ යුතු ය. එසේ පුරුදු කළ යෝගාවචරයාගේ රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයට සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමේ ශක්තිය ලැබෙන්නේ ය.

අෂ්ට සමාපත්තීන් තුදුස් ආකාරයෙන් පුරුදු කොට රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයේ බලය දියුණු කරගත්තා වූ යෝගාවචරයා විසින් එහි බලයෙන් යම් කිසි විශේෂ දෙයක් සිදු කරනු කැමති කල්හි පළමු කොට කරන්නට යන කටයුත්තට සුදුසු කසිණයෙක්හි පඤ්චමධ්‍යානයට සමවැදිය යුතු ය. ඒ පඤ්චම ධ්‍යානයට ‘අභිඥාපාදක පඤ්චම ධ්‍යානය’ යි කියනු ලැබේ. එයින් නැගිට යම් කිසිවක් මැවීමට නම් ‘අසවල් දෙය මැවේවා, මැවේවා” යි කීප විටක් සිතා නැවතත් ඒ පඤ්චම ධ්‍යානයට සමවැදිය යුතු ය. එයින් නැගිට නැවතත් ‘අසවල් දෙය මැවේවා’ යි අධිෂ්ඨාන කළ යුතු ය. ඒ අවස්ථාවෙහි දී අධිෂ්ඨාන කිරීම් වශයෙන් ඇති වන්නේ විශේෂ බලයෙන් යුක්ත වන අභිඥා චිත්ත නම් වූ රූපාවචර පඤ්චම ධ්‍යාන චිත්තය ය. ඒ සිත උපදිනු සමග ම යෝගාවචරයා අදහස් කළ රූපය පහළ වේ.

ඉහත කී පරිදි අෂ්ට සමාපත්තීන්හි තුදුස් ආකාර වශීභාවය ඇති කර ගැනීමෙන් ම සියලු ම අභිඥා ලැබෙන්නේ නො වේ. දිව්‍ය ශ්‍රෝත්‍රාදි අභිඥාවන් සඳහා වෙන වෙන ම කළ යුතු පරිකර්ම ඇත්තේ ය. ඒ ඒ අභිඥාවන් ලැබීමට නිසි පරිකර්ම සම්පූර්ණ කළ යෝගාවචරයන්ට ඒ ඒ අභිඥා ඇත්තේ ය. අභිඥාවලින් සමහරුන්ට එකක් පමණක් ඇත්තේ ය. සමහරුන්ට දෙක තුන ඇත්තේ ය. සමහරුන්ට සියල්ලම ඇත්තේ ය. එබැවින් ඇතැම් ධ්‍යාන ලාභීහු මිනිස් ඇසට නො පෙනෙන දෙවි බඹුන්ගේ ශරීර දකිති. එහෙත් ඔවුන්ගේ හඬ ඇසීමට සමත් නො වෙති. ඇතැම්හු දුර ශබ්ද ඇසීමට සමත් වෙති. එහෙත් දුර රූප දැකීමට සමත් නො වෙති. සමහරු ඒ දෙක ම කිරීමට සමත් වෙති. එහෙත් යම් කිසිවක් මැවීමට අපොහොසත් වෙති. ධ්‍යාන ලාභියකු විසින් යම් කිසිවක් වේවා ය කියා නිකම් සිතූ තරමින් කී තරමින් යමක් සිදු නො වන බව ද දත යුතු ය.

6. සෘද්ධි දශය

අධිට්ඨානිද්ධි විකුබ්බනිද්ධි මනෝමයිද්ධි ඤාණ විප්ඵාරිද්ධි සමාධිවිප්ඵාරිද්ධි අරියිද්ධි කම්මවිපාකජිද්ධි පුඤ්ඤිද්ධි විජ්ජාමයිද්ධි සම්මප්පයෝගපච්චයිද්ධි කියා සෘද්ධි දශයක් ඇත්තේ ය.

එක් කෙනෙක් සිය දෙනෙක් දහස් දෙනෙක් වීම, පෙනී සිටීම, නො පෙනී සිටීම, බිත්ති පර්වතාදියෙන් ඔබ්බට නොසැපී යාම, ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම යනාදිය අධිට්ඨානිද්ධි නම් වේ.

තමාගේ ප්‍ර‍කෘතිය හැර දෙවියකු මෙන් හෝ යකකු රකුසකු මෙන් හෝ සිංහ ව්‍යාඝ්‍රාදි සතෙකු මෙන් හෝ පෙනී සිටීම විකුබ්බනිද්ධි නම් වේ.

තමාගේ ශරීරය තුළ තවත් අඞ්ග සම්පූර්ණ ශරීරයක් සිතින් මවා පිටතට ගැනීම මනෝමයිද්ධි නමි. අභිඥා බලයෙන් සිදු වන්නේ කියන ලද සෘද්ධි තුන පමණෙකි. ඇතැම් උසස් ඥානයක් ඇතිවන කල්හි ද ඇතිවීමට කලින් ද ඇතිවීමෙන් පසු ද ඒ ඥානයේ ආනුභාවයෙන් යම් යම් දේ සිදුවීම ඤාණවිප්ඵාරිද්ධිය ය. යමකුට ඒ ජාතියේ දී නියමයෙන් ම අර්හත් මාර්ග ඥානය ඇති වන්නේ නම්, ඒ තැනැත්තා එය නො ලැබ කවර හේතුවකින්වත් නො මියන්නේ ය. බාල කාලයේ දී බක්කුල තෙරුන් වහන්සේ මසකු විසින් ගිලිනු ලැබූහ. එහෙත් දිවි රැකුනේ ය. එය ඥානවිප්ඵාරිද්ධිය ය. බාල කාලයේ සංකිච්ච තෙරුන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා වීම ද, භූතපාල තෙරුන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා වීම ද ඥානවිප්ඵාරිද්ධිය ය.

සමාධියෙන් ඉන්නා කාලයේ දී හෝ ඉන් පෙර හෝ පසුව හෝ සමාධියේ ආනුභාවයෙන් යම් යම් දේ සිදුවීම සමාධි විප්ඵාර සෘද්ධිය ය. සැරියුත් මහ තෙරුන් වහ්නසේට කපෝතකන්දරාවෙහි වැඩ වෙසෙන කල්හි එක් යකෙක් ඇතකු වුව ද ඇද වැටෙන තරමේ තද පහරක් ගැසී ය. ඒ අවස්ථාවෙහි සමාපත්තියෙන් උන් බැවින් උන් වහන්සේට අමාරුවක් නො වී ය. එය සමාධිවිප්ඵාරිද්ධිය ය. කකුසඳ බුදුන් වහන්සේ ගේ ශ්‍රාවකයකු වූ සඤ්ජීව තෙරුන් වහන්සේ ගසක් මුල නිරෝධ සමාපත්තියෙන් වැඩ වෙසෙනු දුටු මනුෂ්‍යයෝ මේ ශ්‍ර‍මණයා හිඳ ගෙන ම මැරී ඉන්නේය” යි කියා උන් වහන්සේ යට කොට දර දමා ගිනි ලැවූහ. දර ඉවර වන තෙක් ගින්න ඇවුලුණේ ය. එයින් උන් වහන්සේගේ සිවුරුවලටවත් හානියක් නො වී ය. එය ද සමාධි විප්ඵාරිද්ධිය ය.

සිත වසඟ කර ගෙන ඇති බැවින් රහතන් වහන්සේලාට අන්‍යයන් පිළිකුල් කරන දේවල් ගැන පිළිකුල් නැතිව ද විසිය හැකි ය. අන්‍යයන් උසස් කොට සලකන දේවල් ගැන පිළිකුල ද ඇති කර ගත හැකි ය. පිළිකුල් වූද පිළිකුල් නො වූ ද සියල්ල ගැන මධ්‍යස්ථව ද විසිය හැකි ය. රහතුන්ගේ ඒ සෘද්ධිය ආර්‍ය්‍යසෘද්ධි නම් වේ.

පක්ෂීන්ටත් දෙවියන්ටත් ඇතැම් මිනිසුන්ටත් භූතයින්ටත් ඇති සෘද්ධිය කර්මවිපාකජ සෘද්ධිය ය. සෘද්ධි ඇතිව විසූවෝ ආදි කල්පික මනුෂ්‍යයෝ ය.

චක්‍ර‍වර්ති රජවරුන්ගේ සෘද්ධිය හා ජෝතිය ජටිලාදි ඇතැම් පින්වතුන්ට ද පිහිටි සෘද්ධිය පුණ්‍ය සෘද්ධිය ය.

ලෝකයෙහි ඇත්තා වූ අනේකප්‍ර‍කාර විද්‍යාවලින් නොයෙක් දේවල් සිදු කළ හැකි බව විද්‍යාමයිද්ධි නම් වේ.

ප්‍ර‍තිපත්ති සඞ්ඛ්‍යාත සම්‍යක් ප්‍රයෝගයෙන් ක්ලේශ ප්‍ර‍හාණය කිරීම හා උපායෙන් තවත් නොයෙක් දේ සිදු කිරීම සම්මාපයෝගපච්චයිද්ධි නම් වේ.

7. බුද්ධානුස්මෘති භාවනාව

9 වන පාඩම

(මෙබඳු පොතක සියලු ම කර්මස්ථාන විස්තර කිරීම නුසුදුසු බැවින් සෑම දෙනාට ම ප්‍රයෝජන ගත හැකි ශමථ කර්මස්ථාන ගැන පමණක් විස්තරයක් කරනු ලැබේ.)

බුද්ධානුස්මෘති භාවනාව කිරීමේ ක්‍ර‍ම දෙකක් ඇත්තේ ය. ඉන් එකක් බුදුන් වහන්සේගේ රූපකය සිහි කිරීමය. එය කරන්නේ මෙසේ ය:- පළමුවෙන් ම තමාට ප්‍රිය කරන, හොඳය කියා සිතෙන බුදු රුවක් වෙත ගොස්, බුදු - රුව හොඳින් සිතේ ඇඳෙන සැටියට එය දෙස බලා සිටිය යුතු ය. හිසේ පටන් දෙපතුල දක්වා බුදු - රුවේ සෑම අවයවයක් ම වෙන වෙනම ද බලා සිතට ගත යුතු ය. බුදු - රුව දෙස හැකිතාක් ඇසි පිය නො හෙලා බලා සිටිය යුතු ය. දින කීපයක් එසේ කළා ම බුදු - රුව සිතේ ඇඳෙන්නේ ය. ඊට පසු විවේක ස්ථානයක හිඳ නෙත් පියා ගෙන බුදුරජාණන් වහන්සේ තමාගේ ඉදිරියේ වැඩ සිටින්නා සේ සිතාගෙන ඒ බුදුන් වහන්සේ ගේ ශරීරය සිහි කරන්න. සිහි කරන කල්හි සම්පූර්ණ බුදු - රුව සිහි කළ හැකි නම්, සිතට වැටහෙනවා නම්, එසේ සිහි කරන්න. සම්පූර්ණ බුදු රුව නො වැටහෙනවා නම් හිස - නළල - දෙ බැම - නෙත් යුවල - නාසය - තොල් - කම්මුල් - නිකට - ග්‍රීවය - උරහිස් දෙක - අත් දෙක - පපුව - උදරය - උකුල - දෙදන - දෙපතුල යන මේවා පිළිවෙළින් වෙන වෙන ම ද සිහි කරනු. සම්පූර්ණ රූපය ද සිහි කරනු. මෙසේ පුරුදු කරන කල්හි සමහරුන්ට ටික කලක දී බුදු - රුව පැහැදිලි ලෙස සිහි කළ හැකි වන්නේ ය. තමාගේ ඉදිරියේ බුදුන් වහන්සේ වැඩ සිටින්නාක් මෙන් පෙනෙන්නට වන්නේ ය. ඒ බුදුරුව කෙරෙහි සිත පිහිටවා ගැනීමෙන් එක්තරා සමාධියක් ලැබිය හැකිය. බුදු-රුව අරමුණු කිරීමෙන් ඉමහත් බුද්ධාලම්භන ප්‍රීතියක් ඇති කර ගත හැකි ය.

බුද්ධානුස්මෘති භාවනාව කිරීමේ අනික් ක්‍ර‍මය, බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම ය. බුදු ගුණ ඉතා බොහෝ ය. ඒ සියල්ල ම මෙනෙහි කිරීම නො කළ හැකි වැඩකි. බුද්ධානුස්මෘති භාවනාව කරනු කැමැති තැනැත්තා විසින් තමාගේ සිතට හොඳින් වැටහෙන යම් කිසි එක් බුද්ධ ගුණයක් හේ තුන හතරක් හත අටක් හෝ තෝරා ගෙන ඒවා මෙනෙහි කිරීම් වශයෙන් භාවනා කළ යුතු ය. මේ භාවනාව කරනු කැමති තැනැත්තා විසින් විහාර ගෙයකට හෝ දාගැබක් සමීපයට හෝ බෝධියක් සමීපයට හෝ අන් විවේකස්ථානයකට හෝ එළඹ, වාඩි වී, ඇස් පියා ගෙන, ශරීරය නිශ්චලව තබා ගෙන, මතු දැක්වෙන පරිදි මෙනෙහි කරනු.

“මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් සියල්ල ම වැරදීමක් නැතිව ඇති සැටියට ම දැන වදාළ සේක. උන් වහන්සේ නො දන්නා දෙයක් නැත්තේ ය.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහ්නසේ මේ මේ හේතුවෙන් මේ මේ දෙය ඇති වන්නේ ය, සිදු වන්නේ ය කියා සියල්ලෙහි ම හේතූන් ද තත් වූ පරිද්දෙන් දැන වදාළ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කාරුණික වූ සේක. උන් වහන්සේ සිය පුත් රහල් කුමරුන්ට මෙන් ම නො වෙනස්ව දේවදත්තාදි පරම සතුරන්ටත් කරුණාවත් වූ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සත්ත්ව සමූහය දුකින් මිදවීම පිණිස චතුරසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අපමණ දුක් ගත් සේක. මේ සත්ත්වයන් සසර දුකින් මුදවනු පිණිස උන් වහන්සේ නො කළ පරිත්‍යාගයක් නැත.

උන් වහන්සේ ලෝ වැසියන්ට දෙව් මිනිස් සැප හා නිවන් සැප ලැබීමේ මඟ දක්වා වදාළ සේක.

උන් වහන්සේ අර්හත් මාර්ග ඥානයෙන් සියලු කෙලෙසුන් නසා පිරිසිදුව වෙසෙන බැවින් ද දේව බ්‍ර‍හ්මයන්ගේ බලය පවා යට කරන මහත් වූ බුද්ධ බලයෙන් යුක්ත වන බැවින් ද, ලෝකයෙහි අග්‍ර‍ වූ සේක. ශීලයෙන් හා සෘද්ධි බලයෙන් ද උන් වහන්සේට සම වූවකු ලොව නැත්තේ ය.

“උන් වහන්සේ දෙවියන් සහිත සියලු ලෝ වැසියන්ගේ ම ගරු බුහුමන් ලැබීමට වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වූ සේක.”

මෙසේ බුදුගුණ මෙනෙහි කරනු. මෙහි දක්වන ලද්දේ පහසුවෙන් අවබෝධ කළ හැකි - තේරුම් ගත හැකි බුදුගුණ ස්වල්පයකි. තමා කැමති හැටියකින් කවර ආකාරයකින් වුව ද බුදුගුණ සිහි කිරීම බුද්ධානුස්මෘති භාවනාව ය. බුදුගුණ කියා පොත් පත්වල එන තමාට නො තේරෙන දේවල් පාඩම් කර ගෙන කීමෙන් බුද්ධානුස්මෘති භාවනාව සිදු නො වන බව දත යුතු යි.

8. මරණානුස්මෘති භාවනාව

තමනුත් ලොව වෙසෙන අන් හැම දෙනාමත් ඒකාන්තයෙන් මරණයට පැමිණෙන බව - මොන ම බලයකින් වත් මරණයෙන් නො මිදිය හැකි බව - මරණය නියත බව මෙනෙහි කිරීම මරණානුස්මෘති භාවනාව ය. මතු දැක්වෙන පරිද්දෙන් මරණානුස්මෘති භාවනාව කරනු.

“ඇතුන්ට මෙන් බලය තුබූ මහා යෝධයෝ ද, කෝටි ගණන් ධනය තුබූ මහා සිටුවරු ද, මහ පඬිවරයෝ ද, මහා විද්‍යාඥයෝ ද, මහරජවරු ද, මහානුභාව සම්පන්න දේව බ්‍ර‍හ්මයෝ ද යන හැම දෙනා ම මරු පහරින් ඇද වැටුණාහ. මා වැනි දුබලයකුට කෙසේ මරණයෙන් මිදිය හැකි ද? මම ද ඒකාන්තයෙන් මරණයට පැමිණෙන්නෙමි. එයින් කවර ආකාරයකින් වත් නො මිදිය හැකි ය.

උපදින හැම දෙනා ම මරණය අරගෙන ම උපදනාහ. මරණය ඉදිරියෙහි තබා ගෙන ම උපදනාහ. මරණස්ථානයට ගෙන යනු ලබන ගවයන් මෙන් හැම දෙනා ම මරණය කරා නො නැවතී ගමන් කරන්නාහ. දිනෙන් දින මරණය ළං වීම මිස දුර වීමක් නැත.

මේ ජීවිතය ඉතා දුබල ය. ගසක ඉදී ඇති ගෙඩියක් බඳු ය. පිණි බිඳක් බඳු ය. දිය බුබුළක් බඳු ය. පෙණ පිඩක් බඳු ය. මරණය නො පැමිණිය හැකි මොහොතක් - නො පැමිණිය හැකි තැනක් නැත. ඇතැම්හු මව් කුසදී ම මැරෙන්නාහ. ඇතැම්හු ප්‍ර‍සූතියේදී ම මැරෙන්නාහ. ඇතැම්හු ඉපද දින ගණනකදී මැරෙන්නාහ. ඇතැම්හු සති ගණනක දී මැරෙන්නාහ. ඇතැම්හු මාස ගණනකදී මැරෙන්නාහ. ඇතැම්හු වර්ෂ ගණනක දී මැරෙන්නාහ. වැඩි කල් ජීවත් වන්නෝ අපමණ ජරදුක් විඳින්නා හ. මහා සම්පත් ඇති සක්විති රජුන් හා මහානුභාව සම්පන්න දේව බ්‍ර‍හ්මයන් ද මරණයට පැමිණෙන කල්හි මා වැනි අය මරණයට පැමිණීම පුදුමයක් නො වේ. මට ද මේ මරණය අද වුව ද පැමිණිය හැකි ය. ජීවිතය අනියත ය. මරණය නියත ය.”

9. කායගතාසතිය හෙවත් පිළිකුල් භාවනාව

10 වන පාඩම

කේශාදි කාය කොට්ඨාසයන් අරමුණු කොට කරන භාවනාව කායගතාසති භාවනා නම් වේ. එයට “ද්වත්තිංසාකාර භාවනාවය” යි ද “පිළිකුල් භාවනාව ය” යි ද කියනු ලැබේ. මේ බුදු සස්නෙහි බොහෝ දෙනකුන් රහත් වී ඇත්තේ මේ භාවනාවෙනි. බුදු සස්නෙහි පැවිදි වන කුල පුත්‍ර‍යන්ට පළමුවෙන් ම දෙන කමටහනත් මෙ ය ම ය.

කෙස් - ලොම් - නිය - දත් - සම: මස් - නහර - ඇට - ඇට මිදුලු - වකුගඩුව: හෘදය - අක්මාව - දලඹුව - බඩදිව - පෙණපපුව: අතුනු - අතුනුබහන් - නො පැසුණු අහර - අසූචි - හිස්මොල: පිත - සෙම - සැරව - ලේ - ඩහදිය - මේදතෙල: කඳුලු - වුරුණුතෙල - කෙළ - සොටු - සඳ මිදුලු - මුත්‍ර‍.

මේ ශරීරයෙහි ඇති කොටස් දෙතිස ය. මේ භාවනාව කරන තැනැත්තා විසින් මේ කොටස් දෙතිස හොඳින් තේරුම් ගත යුත ුය. සැම කොටසක ම පැහැය දැන ගත යුතු ය. සටහන දැන ගත යුතු ය. පිහිටි ස්ථානය දැන ගත යුතු ය. පිහිටි දිශාව දත යුතු ය. උඩ යට සරස යන සෑම පැත්තෙන් ම කොටස්වල පරිච්ඡේදය දත යුතු ය. මේ භාවනාව ශබ්ද නගා කියමින් කළ යුතු ය. කොටස් දෙතිස ම ගෙන එකවරට ම භාවනා නො කළ යුතු ය. කොටස් දෙතිස වර්ග සයකට බෙදා ගෙන අනුලෝම ප්‍ර‍තිලෝ ම වශයෙන් සජ්ඣායනා කළ යුතු ය.

“කෙස් ලොම් නිය දත් සම, සම දත් නිය ලොම් කෙස්” කියා පළමුවන වර්ගය සජ්ඣායනා කළ යුතු ය.

“මස් නහර ඇට ඇටමිදුලු වකුගඩුව, වකුගඩුව ඇටමිදුලු ඇට නහර මස්” කියා දෙවන වර්ගය සජ්ඣායනා කළ යුතු ය.

“හෘදය අක්මාව දලඹුව බඩදිව පෙණපපුව, පෙණ පපුව බඩදිව දලඹුව අක්මාව හෘදය” කියා තුන් වන වර්ගය සජ්ඣායනා කළ යුතු ය.

“අතුනු අතුනුබහන් නො පැසුණු අහර අසූචි හිස්මොල, හිස්මොල අසූචි නො පැසුණු අහර අතුනු බහන් අතුනු” කියා සතර වන වර්ගය සජ්ඣායනා කළ යුතු ය.

“පිත සෙම සැරව ලේ ඩහදිය මේදතෙල, මේද තෙල ඩහදිය ලේ සැරව සෙම පිත” කියා පස් වන වර්ගය සජ්ඣායනා කළ යුතු ය.

“කඳුලු වුරුණුතෙල කෙළ සොටු සඳමිඳුලු මුත්‍ර‍, මුත්‍ර‍ සඳමිඳුලු සොටු කෙළ වුරුණුතෙළ කඳුලු” කියා සවන වර්ගය සජ්ඣායනා කළ යුතු ය.

එක් එක් වර්ගයක් දින ගණනක් සජ්ඣායනා කොට වචනය කියනවාත් සමග ඒ ඒ කොටස් සිතට පෙනෙන්නට වූවා ම ඊළඟ වර්ගය සජ්ඣායනා කරනු. සියල්ල ම හොඳින් ප්‍ර‍ගුණ වූ පසු කොටස් දෙතිස ම අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් සජ්ඣායනා කරන්නට පටන් ගත යුතු ය. සියල්ල ම සජ්ඣායනා කරන්නේ මෙසේ ය.

“කෙස් ලොම් නිය දත් සම, මස් නහර ඇට ඇටමිදුලු වකුගඩුව, හෘදය අක්මාව දලඹුව බඩදිව පෙණපපුව, අතුනු අතුනුබහන් නො පැසුණු අහර අසූචි හිස්මොල, පිත සෙම සැරව ලේ ඩහදිය මේද තෙල, කඳුලු වුරුණුතෙල කෙළ සොටු සඳමිඳුලු මුත්‍ර‍.

මුත්‍ර‍ සඳමිඳුලු සොටු කෙළ වුරුණුතෙල කඳුලු, මේදතෙල ඩහදිය ලේ සැරව සෙම් පිත, හිස්මොල අසූචි නො පැසුණු අහර අතුනුබහන් අතුනු පෙණපපුව, බඩදිව දලඹුව අක්මාව හෘදය, වකුගඩුව ඇටමිදුලු ඇට නහර මස්, සම දත් නිය ලොම් කෙස්.”

මේ භාවනාවෙන් ප්‍ර‍ථමධ්‍යානය ලැබිය හැකි ය. විදර්ශනාවට හරවා ගැනීමෙන් ලෝකෝත්තර මඟපල ද ලැබිය හැකිය.

10. ආනාපානසති භාවනාව

ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක්හි සිත පිහිටුවා ගෙන එය සිහි කිරීම ආනාපානසති භාවනාව ය. මෙය බුදු සස්නෙහිත් බුදු සස්නෙන් පිටතත් බොහෝ යෝගාවචරයන් කරන භාවනාවෙකි.

එය කරන තැනැත්තා විසින් වාඩි වී ශරීරය කෙළින් තබා ගත යුතු ය. ඉක්බිති ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව සැපෙන තැනක් අල්ලා ගත යුතු ය. ඒ වායුව සමහරුන්ගේ නාසයේ අග සැපී ගෙන පිට වන්නේ ය. සමහරුන්ගේ උඩු තොලේ අග සැපී ගෙන පිට වන්නේ ය. සැපෙන තැන මුල් කරගෙන ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුවෙහි මුල මැද අග යන සියල්ල ම පෙනෙන සැටියට සිහි කරන්නට උත්සාහ කළ යුතු ය. ආශ්වාසයේ මුල නාසයේ අග ය. මැද පපුව ය. අග නාභිය ය. නාසිකාග්‍රයේ පටන් නාභිය දක්වා වායු ධාරාව ගමන් කරනු දැකීමට උත්සාහ කරනු. ප්‍ර‍ශ්වාස වායුවේ මුල නාභිය ය. මැද පපුව ය. අග නාසිකාග්‍ර‍ය ය. ශරීරයෙන් පිටතට ගිය වායු කොට්ඨාස සෙවීමට උත්සාහ නො කළ යුතු ය.

මේ භාවනාව කරන තැනැත්තා විසින් ආශ්වාස ප්‍ර‍ශ්වාස ප්‍ර‍කෘතියෙන් වන සැටියට ම පවත්වන්නට උත්සාහ කළ යුතු ය. උත්සාහ කොට ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන්නට ගිය හොත් මඳ වේලාවකින් වෙහෙසට පත් වී භාවනාව නො කළ හැකි තැනට පත්විය හැකි ය. එසේ කිරීමෙන් සමහර විට බඩේ හා පපුවේ ආබාධ ද ඇතිවිය හැකි ය. කලක් යන තුරු ආශ්වාස ප්‍ර‍ශ්වාසයන් ගණන් කරමින් භාවනා කරනු. ගණන් කිරීමේ දී ද දිගට ම ගණන් නො කොට දහය දක්වා ගණන් කරනු. දහයට පැමිණි කල්හි ඉදිරියට ගණන් කිරීම නවත්වා නැවත එකේ පටන් ගණන් කරනු. තරමක් සමාධිය දියුණු වූ පසු ගණන් කිරීම නවත්වා මුල මැද අග යන සැම තැන ම පෙනෙන පරිදි වායුව ම සිහි කරනු. හරියට හොඳට කළ හොත් මේ භාවනාවෙන් ධ්‍යාන පස ම ලැබෙන්නේ ය. තරමක් දුරට කළත් මේ භාවනාවෙන් සිහි නුවණ දියුණු වේ. බොහෝ ප්‍රයෝජන ලැබේ.

11. බ්‍ර‍හ්මවිහාර භාවනා

මෛත්‍රී භාවනාව

11 වන පාඩම

මිත්‍ර‍ භාවය- අනුන්ට විරුද්ධ නැති බව - අනුකූල බව - අනුන්ගේ යහපත කැමති බව මෛත්‍රී නමි. මෛත්‍රී සහගත චිත්තය නැවත නැවත පැවැත්වීම මෛත්‍රී භාවනාව ය. ධ්‍යාන ලැබීම සඳහා මෛත්‍රී භාවනාව කිරීම ය, භාවනාමය කුශලය ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් මෙත් වැඩීමය කියා මෛත්‍රී භාවනාව කිරීමේ ක්‍ර‍ම දෙකක් ඇත්තේ ය. කවර ආකාරයකට වුව ද මෛත්‍රී භාවනාව කරන්නට යන පින්වතා විසින් පළමු කොට ව්‍යාපාදයේ හෙවත් ද්වේෂයේ ආදීනවයත් ඉවසීමේ ආනිසංසයත් සිහි කළ යුතු ය.

ද්වේෂයෙහි ආදීනව බොහෝ ය. ද්වේෂය හිත තවන ධර්මයෙකි. ප්‍රීතිය නැති කරන්නකි. සෞම්‍ය ගතිය නැති කොට භයානක මුහුණක් ඇති කරන්නකි. ශීලය කිලිටි කරන්නකි. සිත වික්ෂිප්ත කරන්නකි. නුවණ නැති කරන්නකි. ප්‍ර‍තිපත්තියට බාධා කරන්නකි. අපායට මාර්ගයෙකි. බොහෝ පව් ඇති කරන්නකි. ධර්ම මාර්ගය නසන්නකි. ගුණ නසන්නකි. ස්වර්ග මාර්ගය හා මෝක්ෂ මාර්ගයට ආවරණයකි. නොයෙක් ව්‍යසන, නොයෙක් උප්‍ර‍දව ඇති කරන්නකි. තමාගේ අභ්‍යන්තරයෙන් ම හට ගන්නා භයෙකි. නපුරෙකි. ද්වේෂය පැවැත්වීම ගිනි අඟුරු ගිලීමක් වැනි ය. දැලි පිහියා මූණතක් ලෙව කෑම වැනි ය. සර්පයකු වැළඳ ගැනීමක් වැනි ය.

ඉවසීම සියලු ගුණයන්ට මූලයෙකි. ගුණ වැඩෙන සරු බිමෙකි. ක්‍රෝධ ගින්න නිවන සිසිල් ජලයෙකි. උතුම් බෝධි සම්භාරයෙකි. කුශල ධර්මයන්ට මවු කෙනෙකි. සියලු දුක් දුරු කරන්නකි. සියලු සැප ළඟා කර දෙන්නකි. සිත සන්සිඳවන්නකි. ආත්මාර්ථ පරාර්ථ දෙක ම සිදු කරන්නකි. මෙසේ ද්වේෂයේ දොස් හා ඉවසීමේ ගුණ සැලකිය යුතු ය.

ධ්‍යාන ලැබීමට පහසු ක්‍ර‍මය මෛත්‍රී කිරීමට සුදුසු එක් පුද්ගලයකු තෝරා ගෙන ඒ පුද්ගලයාට ම මෛත්‍රිය කිරීම ය. පුද්ගලයකු තෝරා ගැනීමේ දී අප්‍රිය පුද්ගලයකු හෝ ඉතා ප්‍රිය පුද්ගලයකු හෝ මධ්‍යස්ථයකු හෝ සතුරකු හෝ ලිඞ්ග විෂභාග පුද්ගලයකු හෝ මළපුද්ගලයකු හෝ නො ගත යුතු ය. ඉතා ප්‍රිය බැවින් මවු කෙනකු පිය කෙනකු සහෝදරයකු නො ගත යුතු ය. මෙත් වැඩීම සඳහා තමාගේ සිත පහදවා ගත හැකි ගුරුවරයකු හෝ ගුරුවරයකු වැනියකු හෝ අන්‍ය සත්පුරුෂයකු හෝ තෝරා ගත යුතු ය. මෙත් වැඩීම සඳහා භාවිතයට සුදුසු වචන බොහෝ ඇත්තේ ය. එහෙත් සමාධිය වැඩීමේ දී එක ම වගන්තියක් භාවිත කිරීම වඩා හොඳ ය.

පළමු කොට තමාට මෛත්‍රිය කරගත යුතු ය. කොතෙක් කල් තමාට මෛත්‍රිය කළත් එයින් ධ්‍යානයක් නො ලැබිය හැකි ය. තමාට මෛත්‍රිය කිරීමේ ප්‍රයෝජනය තමා මෙන් ම අන්‍යයනුත් සැපයට කැමති බව සලකා ගත හැකි වීම ය. තමාට මෛත්‍රිය කර ගැනීමෙන් පසු තමා මෙන් ම අන්‍යයනුත් සැපයට කැමති බව සලකා, තමාට මෙන් ම අන්‍යයන්ටත් සැපය වුවමනා බව සලකා, මෙත් වැඩීම සඳහා තමා තෝරා ගත් පින්වතා තමාගේ ඉදිරියේ ඉන්නා සැටියට සිතින් සලකා, ඒ තැනැත්තාගේ දෙබැම අතර නාසයේ මුල තම සිත පිහිටවා ගෙන මේ සත්පුරුෂයා සුවපත් වේවාය කියා නැවත නැවත මෛත්‍රිය වඩනු. එසේ කිරීමෙන් ඒ පුද්ගලයා අරමුණු කොට මෛත්‍රී ධ්‍යානය ලැබිය හැකි ය. එක් අයකුට පමණක් මෙත් වැඩීමෙන් තෘප්තියට නො පැමිණෙන යෝගාවචරයා විසින් තමා කෙරෙහිත් තමාට අහිතයන් කෙරෙහිත් තමාගේ හිතවතුන් කෙරෙහිත් මධ්‍යස්ථයන් කෙරෙහිත් මෙත් වඩා ඒ සතර කොටස කෙරෙහි ම තමාගේ සිත සමත්වයට පමුණුවා ගත යුතු ය. ඉන් පසුව බොහෝ සත්ත්වයන් අරමුණු කොට පෘථුල වූ මෛත්‍රී ධ්‍යානය උපදවා ගත හැකි ය.

සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාව කරන්නවුන්ට නොයෙක් වචනවලින් නොයෙක් ආකාරයෙන් මෙත් වැඩීම හොඳ ය. නොයෙක් වචනවලින් තමා කෙරෙහිත් තමාට සතුරු මිතුරු මැදහත් අය කෙරෙහිත් මෙත් වැඩීම කළ යුතු ය. එසේ කිරීමේ දී අනුන් සුවපත් කිරීමේ අදහසින් අවංකව ම මෙත් වැඩීම කළ යුතු ය. ඇතැම්හු සත්‍ය වශයෙන් අනුන් සුවපත් කිරීමේ කැමැත්ත නැතුව සුවපත් වෙත්වා යි සිතති. කියති. එය අවඞ්ක මෙත් වැඩීමක් නො වේ. එබඳු මෙත් වැඩීම්වල බලයක් නැත.

“මම වෛර නැත්තේ වෙම්වා! නපුරු සිත් නැත්තේ වෙම්වා! දුක් නැත්තේ වෙම්වා! සුවසේ වෙසෙම්වා!” යි තමාට මෛත්‍රිය කර ගත යුතු ය.

අන්‍ය සත්ත්වයන්ට මෛත්‍රී කිරීමේ දී දිශා වශයෙන් ද, ජාති වශයෙන් ද, භූමි වශයෙන් ද, අනේකාකාරයෙන් සත්ත්වයන් බෙදා මෙත් වැඩීම කළ යුතු ය.

නැගෙනහිර වෙසෙන සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! නපුරු සිත් නැත්තෝ වෙත්වා! නිදුක් වෙත්වා! සුවසේ වෙසෙත්වා! කෙනෙක් අනිකකු පහත් කොට නො සිතත්වා! කෙනෙක් කෙනකුට නපුරක් නො කෙරෙත්වා! සියල්ලෝ ම ඔවුනොවුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා! ශ්‍ර‍ද්ධා ශීලාදි ගුණවලින් යුක්ත වෙත්වා! කිසි පාපයක් නො කෙරෙත්වා! දාන ශීලාදි කුශලයන්හි යෙදී නිවන් දකිත්වා!” යන මේ වගන්ති සියල්ලෙන් ම හෝ මේවායින් වගන්ති කීපයකින් හෝ මෙත් වැඩිය යුතු ය. අන්‍ය දිශාවල සත්ත්වයන්ට ද එසේ ම මෙත් වැඩිය යුතු ය. භූමි ජාති ප්‍රදේශ වශයෙන් ද කැමති සැටියට යොදා ගෙන මෙත් වැඩීම කරත්වා!!

කරුණා භාවනාව

තමාට දුක් ඇතිවීම නො ඉවසන්නාක් මෙන් අනුන්ට දුක් ඇතිවීමත් නො ඉවසන ස්වභාවය, දුඃඛිතයන් දුකින් මුදවනු කැමති ස්වභාවය, අනුන්ගේ දුක් ගැන කම්පා වන ස්වභාවය කරුණාව ය. කරුණා සහගත සිත් නැවත නැවත පැවැත්වීම කරුණා භාවනාව ය.

එය කරනු කැමති යෝගාවචරයා විසින් පළමුවෙන් අත්පා කැඩීමක් නිසා හෝ සුව නො වන රෝගයක් නිසා හෝ කිසි රැකියාවක් කර ගත නො හෙන, අනුන්ගෙන් යමක් ඉල්ලා කා ජීවත්වන පරම දුඃඛියකු සොයා ඔහුගේ දුක නුවණින් සලකා “මහා දුකට පැමිණ සිටින මේ අසරණයා දුකින් මිදේවා! මිදේවා!” යි ඔහු කෙරෙහි කරුණාව පැවැත්විය යුතු ය. ඉක්බිති දුකට පත් තමාගේ ප්‍රිය පුද්ගලයන් කෙරෙහි ද මධ්‍යස්ථයන් කෙරෙහි ද සතුරන් කෙරෙහි ද කරුණාව පැවැත්විය යුතු ය. තමා ගැනත් තමාගේ හිතවතුන් ගැනත් මධ්‍යස්ථයන් ගැනත් සතුරන් ගැනත් සම කරුණාව ඇති කර ගෙන භාවනාවෙහි යෙදෙන්නවුන්ට දුඃඛිත සත්ත්වයන් අරමුණු කොට කරුණා ධ්‍යානය උපදී.

සාමාන්‍යයෙන් කරුණා භාවනාව කරන්නවුන් විසින් ඒ ඒ සත්ත්වයන්ගේ දුක් නුවණින් සලකා “මේ සත්ත්වයෝ මේ දුක්වලින් මිදෙත්වා!” යි කරුණාභාවනාව කළ යුතු ය. කරුණාවට ලක් කර ගත නො හෙන සත්ත්වයෙක් නැත. සුඛිතයන් වශයෙන් සලකන සත්ත්වයන්ට ද බොහෝ දුක් නැත්තේ ය. නොයෙක් පව් කම් කරමින් පස්කම්සැප විඳිමින් ප්‍රීති වන ජනයා සැප විඳින්නන් සේ පෙනෙතත් මරණින් මතු ඔවුහු මහ දුකට පත්වන්නාහ. ඒ බව සලකා ඔවුන් කෙරෙහි කරුණාව පැවැත්විය හැකිය. මහත් සම්පත්තියෙන් කල් යවන සිටුවරු රජවරු ද කලක දී මැරී ඒ සම්පත්තියෙන් පිරිහෙන්නාහු ය. දහස් ගණන් දෙවඟනන් පිරිවරාගෙන සිත්කලු විමන්වල හා නන්දනාදි උයන්වල කම් සැපයෙන් ප්‍රීති වන දෙවිවරු ද, මහ ගිනිකඳන් සේ දිලෙන කල්ප ගණන් ආයු ඇති බ්‍ර‍හ්ම රාජයෝ ද පින් කෙළවර වීමෙන් ඇද වැටෙන්නාහ. මෙසේ නුවණින් සලකා සැම දෙනා කෙරෙහි ම “මේ සත්ත්වයෝ දුකින් මිදෙත්වා” යි කරුණාව පැවැත්විය යුතු ය.

මුදිතා භාවනාව

සුඛිත පුද්ගලයන් ගැන සතුටුවන ස්වභාවය මුදිතා භාවනාව ය. ධ්‍යාන ලැබීම සඳහා එය කරනු කැමති යෝගාවචරයා විසින් ප්‍රිය මනාප දූ දරුවන් ඇතිව යහපත් නෑ මිතුරන් ඇතිව, සුන්දර ගෘහ-යාන-වාහන-වස්ත්‍රාභරණ-ආහාර-පාන ඇතිව, නිරෝගීව, කාය චිත්ත, සුඛයෙන් වෙසෙන ප්‍රිය පුද්ගලයකු අරමුණට ගෙන “මොහු කිසිවකින් අඩු පාඩුවක් නැතුව, කිසි කාය චිත්ත, පීඩාවක් නැතිව, සුවසේ වාසය කරනවා. අනේ හොඳා! අනේ හොඳා!!” යි මුදිතා භාවනාව කළ යුතුය. මෙසේ එක් කෙනෙකුගෙන් පටන් ගෙන ක්‍ර‍මයෙන් මුදිතාව මහත් කළ යුතු ය. මොහු නිසා මොහුගේ අඹු දරුවෝ සැපසේ වෙසෙන්නාහ යි සලකා ඔවුන් කෙරෙහි මුදිතාව පැවැත්විය යුතු ය. මොහු නිසා මොහුගේ නෑ මිතුරෝ අසල්වැසියෝ සුවසේ වෙසෙන්නාහ යි ඔවුන් කෙරෙහි මුදිතාව පැවැත්විය යුතු ය. මෙසේ ක්‍ර‍ම ක්‍ර‍මයෙන් තමාගේ හිතවතුන් කෙරෙහි ද, මධ්‍යස්ථයන් කෙරෙහි ද සතුරන් කෙරෙහි ද මුදිතාව පැවැත්විය යුතු ය. සෑම දෙනා කෙරෙහි ම මුදිතාව සමව පැවැත් විය හැකි තත්ත්වයකට පැමිණීමෙන් පසු මුදිතා ධ්‍යානය ලැබිය හැකි ය.

සාමාන්‍ය ක්‍ර‍මයට මුදිතාව වඩනු කැමැතියන් විසින් සත්ත්වයන්ගේ සුඛිත භාවය කල්පනා කර “මේ සත්ත්වයෝ සුවසේ වෙසෙන්නාහ. අනේ හොඳය: අනේ හොඳය” කියා මුදිතාව පැවැත්විය යුතු ය. සුඛිතයකු වශයෙන් නො සැලකිය හැකි සත්ත්වයෙක් ද නැත. බ්‍ර‍හ්ම ලෝකයෙහි මහානුභාව සම්පන්න බ්‍ර‍හ්ම රාජයෝ ප්‍රීතිය ම ආහාර කොට ඉතා සුවසේ කල්ප දහස් ගණන් ජීවත් වන්නාහ. චාතුර්මහාරාජිකාදි දිව්‍ය ලෝකයන්හි බොහෝ දෙවිවරු රත්නයන් ගෙන් බබලන පරම සුන්දර විමානයන්හි අප්සරාවන් පිරිවරා ඉන්ද්‍රියයන් පිනවමින් සුවසේ වෙසෙන්නාහ. මිනිස් ලොව රජවරු සිටුවරු හා සාමාන්‍ය ධනවත්හු ද හොඳින් කා බී ඇඳ පැළඳ ස්වකීය ඥාති මිත්‍ර‍යන් හා ප්‍රීතියෙන් වෙසෙන්නාහ. දුප්පත් ජනයා ද කෙසේ හෝ ඔවුන්ට උවමනා ආහාර පානාදිය ලබා ගෙන ප්‍රීති වන්නාහ. ආපායික සත්ත්වයෝ ද කවදා හෝ ඒ දුකින් මිදී ප්‍රීති වන්නාහ. මෙසේ ඒ ඒ සත්ත්වයන්ගේ සුඛිතත්වය නුවණින් සලකා සියල්ලන් ගැන ම මුදතාව වැඩිය හැකිය.

උපේක්ෂා භාවනාව

සත්ත්වයන් ගැන පවත්වන මධ්‍යස්ථතාව උපේක්ෂාව ය. උපේක්ෂා භාවනාවෙන් ලැබිය හැක්කේ පඤ්චම ධ්‍යානය පමණෙකි. උපේක්ෂාව වඩා පඤ්චම ධ්‍යානය ලැබිය හැක්කේ ද කලින් අන් භාවනාවකින් ප්‍ර‍ථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යානයන් ලබා ඇති යෝගාවචරයනට පමණෙකි.

උපේක්ෂාව වඩනු කැමතියන් විසින් ලෝක තත්ත්වය නුවණින් සලකා සත්ත්වයන් ගැන මධ්‍යස්ථ විය යුතු ය. ලාභාලාභාදි ලෝක ධර්ම අට සැම සත්ත්වයන්ට ම පැමිණෙන්නේ ය. ලෝකස්වභාවය කෙනකුගේ කැමැත්තේ සැටියට වෙනස් නොවන්නේ ය. “සැම දෙනා ම ලෝක ධර්මයට යටත් වන්නාහ. ලෝකයා තමාගේ කැමැත්තේ සැටියට පැවැත්වීමට සමතෙක් නැත. මේ සත්ත්වයෝ තම තමන්ගේ කර්මානුරූපව සුව දුක් ලබන්නෝ ය. නො මග යාමෙන් සත්ත්වයෝ දුකට පත් වන්නාහ. සුමග ගමන් කිරීමෙන් සැපතට පත් වන්නාහ. කෙනකු විසින් සුවපත් වෙත්වා යි පැතීමෙන් ඔවුහු සුවපත් නො වන්නාහ. දුකින් මිදෙත්වා යි පැතීමෙන් දුකින් නො මිදෙන්නාහ. එබැවින් ලෝක විචාරණය පලක් නැති මහන්සි වීමකි: මෙසේ ලෝක තත්ත්වය සලකා “මේ සත්ත්වයෝ තම තමන්ගේ කර්මය පරිදි සුව දුක් ලබන්නාහ” යි උපේක්ෂාව වැඩිය යුතු ය.

12. විදර්ශනා කර්‍මස්ථානය

12 වන පාඩම

සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ග සතර ඵලයන් ලබා දී සසර දුකින් මුදවා සත්ත්වයා නිවනට පමුණුවන භාවනාව විදර්ශනා භාවනාව ය. විශුද්ධි සත ය, ලක්ෂණ තුන ය, අනුපස්සනා තුනය, විදර්ශනාඥාන දශය ය, විමෝක්ෂ තුන ය, විමෝක්ෂමුඛ තුන ය යන මේවා විදර්ශනා භාවනාව සම්බන්ධයෙන් දත යුතු ප්‍ර‍ධාන කරුණු ය.

13. විශුද්ධි සත

ශීල විශුද්ධිය, චිත්ත විශුද්ධිය, දෘෂ්ටි විශුද්ධිය, කාංක්ෂාවිතරණ විශුද්ධිය, මාර්ගාමාර්ගඥානදර්ශන විශුද්ධිය, ප්‍ර‍තිපද්ඥානදර්ශන විශුද්ධිය, ඥානදර්ශන විශුද්ධිය කියා විශුද්ධි සතෙකි.

ශීල විශුද්ධිය

පිරිසිදු ශීලය ශීල විශුද්ධිය ය. දුශ්ශීල ව ඉන්නා කෙනකු විසින් ධ්‍යාන හෝ ලෝකෝත්තර මාර්ග ඵල හෝ නො ලැබිය හැකි ය. දුශ්ශීල භාවය ධ්‍යානාදියට ආවරණයෙකි. එබැවින් යම් කිසි උසස් තත්ත්වයකට පැමිණීමේ බලාපොරොත්තුවෙන් භාවනාවට බසින තැනැත්තා විසින් සිල් පිරිසිදු කර ගෙන පිරිසිදු ශීලයෙහි පිහිටා ම භාවනාව පටන් ගත යුතු ය.

ශීල විශුද්ධිය ගිහි පැවිදි දෙපක්ෂයට වෙන වෙන ම කිය යුතු ය. ගිහියන්ට අයත් පඤ්චශීලාදි ශීලයන් අතුරෙන් යම් කිසි ශීලයක පිහිටීම ගිහියාගේ ශීල විශුද්ධිය ය. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය, ප්‍ර‍ත්‍යය සන්නිශ්‍රිත ශීලය යන චතුපාරිශුද්ධි ශීලය පැවිද්දන්ගේ ශීල විශුද්ධිය ය.

බුදුරජාණන් වහන්සේ විසින් පැවිද්දන් සඳහා පනවා ඇති සිකපද සමූහය ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය. එය ලෞකික ශීලයන් අතුරෙන් ප්‍ර‍ධාන ශීලය ය.

චක්ෂුරාදි ද්වාරය්නට හමුවන රූපාදි ආරම්මණයන්ගේ නිමිති ගන්නා වූ තැනැත්තන්ට ඒවා හොඳ ය කියා ද, ලබා ගන්නට ඕනෑය කියා ද, නරකය කියා ද, ලෝභ ද්වේෂාදි බොහෝ ක්ලේශයෝ උපදිති. රූපාදිය නිසා කෙලෙස් ඇති නො වීමට නම්, නිතර සිහියෙන් යුක්තව විසිය යුතු ය. කෙලෙස් ඇති වීම වළක්වන ඒ සිහිය ඉන්ද්‍රිය සංවර ශීලය ය.

දිවි රැකීම සඳහා කරන නො මනා ක්‍රියාවලින් වැළකීම ආජීව පාරිශුද්ධි ශීලය ය. එය ද ගිහි පැවිදි දෙපක්ෂයේ සැටියට වෙන වෙන ම කිය යුතු ය. ජීවත් වීම සම්බන්ධයෙන් කරන ප්‍රාණඝාතාදි දුශ්චරිතයන් ගෙන් හා අධර්ම වෙළඳාම් පසෙන් ද වැළකී දැහැමින් ජීවත් වීම ගිහියාගේ ආජීව පාරිශුද්ධි ශීලය ය. ගිහියාගේ ආජීව පාරිශුද්ධිය පඤ්ච සීලාදියට ම ඇතුළත් ය. කුහක කමින් හා යම් යම් දේ දීම් ආදියෙන් ගිහියන් සතුටු කොට ප්‍ර‍ත්‍යය ලබා ගැනීමෙන් වැළකී පිඬු සිඟීම් ආදියෙන් දැහැමින් සිව්පසය ලබාගෙන ජීවත්වීම පැවිද්දන්ගේ ආජීව පාරිශුද්ධි ශීලය ය.

දැහැමින් ලැබෙන ප්‍ර‍ත්‍යය වුව ද පිළිගන්නා වූ ද පරිභෝග කරන්නා වූ ද අවස්ථාවන්හි ඇතිවිය හැකි සම්මෝහයත් තණ්හාවත් මදයත් ඇතිවීම වළක්වන ප්‍ර‍ත්‍යවේක්ෂා ඥානය ප්‍ර‍ත්‍යය සන්නිශ්‍රිත ශීලය ය. ඒ ශීලය රැකෙනු සඳහා ආහාර පානාදියෙන් වන ප්‍රයෝජන හෝ මෙනෙහි කළ යුතු ය. ආහාර පානාදිය ප්‍ර‍තිකූල වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ මෙනෙහි කළ යුතු ය. එසේ නො කිරීම ගිහියනට මඟ පල ලැබීමට බාධාවක් නො වේ.

චිත්ත විශුද්ධිය

සිත කිලිටි කරන කාමච්ඡන්දාදි නීවරණයන්ට සිතට ඇතුළු වන්නට නොදී එය භාවනාරම්මණයෙහි ම පවත්වන බලවත් සමාධිය චිත්ත විශුද්ධිය ය. ශමථ යානිකයෝ ය. විදර්ශනා යානිකයෝ ය කියා යෝගාවචරයෝ දෙකොටසක් වෙති. පළමුවෙන් යම් කිසි ශමථ භාවනාවක් කොට එයින් ලැබෙන සමාධිය පිහිට කොට විදසුන් වඩා මඟ පල ලබන යෝගාවචරයෝ ශමථයානිකයෝ ය. ශමථ භාවනාවෙහි නො යෙදී විදර්ශනාව ම වඩන යෝගාවචරයෝ විදර්ශනායානිකයේ ය. ශමථ භාවනාවෙන් ලබන උපචාර සමාධිය හා අර්පණා සමාධිය ශමථ යානිකයන්ගේ චිත්ත විශුද්ධිය ය. විදර්ශනාව පමණක් කරන්නවුන්ට එයින් ම එක්තරා සමාධියක් ලැබේ. ඒ සමාධිය නිසා යෝගාවචරයාගේ සිත බැහැර නො ගොස් භාවනාරම්මණයෙහි මනා කොට පිහිටන්නේ ය. විදර්ශනාවෙන්ම ලැබෙන ඒ සමාධිය විදර්ශනා යානිකයන්ගේ චිත්ත විශුද්ධිය ය.

කාමච්ඡන්දාදි නීවරණයෝ සමාධියෙන් තොරව භාවනා කරන තැනැත්තාගේ සිතට වරින් වර ඇතුළු වී එය අපිරිසිදු කරති. බලවත් සමාධියක් ඇති කල්හි භාවනා කරන යෝගාවචරයාගේ භාවනා චිත්ත පරම්පරාව ඒකාබද්ධ ව භාවනාරම්මණයෙහි ම නැවත නැවත ඇති වේ. එයින් සිත පිරිසිදු ව පවතී. යෝගාවචරයා ගේ සිත එසේ පිරිසිදු ව තබන බැවින් සමාධිය චිත්ත විශුද්ධි නම් වේ.

දෘෂ්ටි විශුද්ධිය

13 වන පාඩම

නාම රූපයන් ඇති සැටියට දක්නා වූ ආත්ම දෘෂ්ටිය දුරුකරන්නා වූ ඥානය දෘෂ්ටි විශුද්ධිය ය. ලක්ෂණය - රසය - ප්‍ර‍ත්‍යුපස්ථානය - පදස්ථානය යන මොවුන්ගේ වශයෙන් නාම - රූපයන් වෙන් කොට දැන ගැනීම දෘෂ්ටි විශුද්ධිය යි ද කිය යුතු ය.

ලක්ෂණය යනු ඒ ඒ පරමාර්ථ ධර්මයාගේ ස්වභාවය ය. පරමාර්ථ ධර්මයාගේ ශරීරයත් ඒ ලක්ෂණය ම ය.

එක් එක් පරමාර්ථ ධර්මයකට එයින් සිදු කරන කෘත්‍යයක් ද ඇත්තේ ය. එසේ ම ඒ ඒ කෘත්‍යය සිදුකළ හැකි ශක්තියක් ද පරමාර්ථ ධර්මයන්ට ඇත්තේ ය. ඒ ශක්තියට ‘සම්පත්තිය’ යි ද කියනු ලැබේ. ‘රසය’ යි කියනුයේ ඒ කෘත්‍ය සම්පත්ති දෙකට ය.

පරමාර්ථ ධර්මයකින් සිදු කරන කෘත්‍යය නිසා ඇති වන ඵලයක් ද ඇත්තේ ය. ඒ ඵලයට ‘ප්‍ර‍ත්‍යුපස්ථානය’ යි කියනු ලැබේ. තව ද පරමාර්ථ ධර්ම විමසන යෝගාවචරයා ගේ සිතට යම්කිසි ආකාරයකින් ඒ පරමාර්ථ ධර්ම වැටහෙන්නේ ය. ඒ වැටහෙන ආකාරය ද ‘ප්‍ර‍ත්‍යුපස්ථානය’ යි කියනු ලැබේ.

ඒ ඒ පරමාර්ථ ධර්මය ඇතිවීමේ ප්‍ර‍ධාන වූ ද, ප්‍ර‍කට වූ ද හේතුවට ‘පදස්ථානය’ යි කියනු ලැබේ. එයට ‘සමීප හේතුවය’ යි ද කියනු ලැබේ.

මේ කරුණු සතරින් ලක්ෂණය ගින්නෙහි උෂ්ණ ස්වභාවය මෙන් දත යුතු ය. රසය ගින්නෙහි දිලිසෙන ස්වභාවය මෙන් දත යුතු ය. ප්‍ර‍ත්‍යුපස්ථානය ගින්නෙහි දුම ඇති කරන ස්වභාවය මෙන් දත යුතු ය. පදස්ථානය ගින්න ඇති කරන දර මෙන් දත යුතු ය. ගින්නේ ලක්ෂණය උෂ්ණ ස්වභාවය ය. රසය දිලිසෙන ස්වභාවය හෝ පැසවන ස්වභාවය ය. ගින්නේ ප්‍ර‍ත්‍යුපස්ථානය දුම් දැමීම ය. පදස්ථානය දරය.

ලක්ෂණාදි කරුණු සතරින් ප්‍ර‍ධාන කාරණය ලක්ෂණය ය. එය දැන ගත්තාම ඒ ඒ පරමාර්ථ ධර්මය දැන ගත්තා වන්නේ ය. රසය - ප්‍ර‍ත්‍යුපස්ථාන - පදස්ථානයන් ද දැන ගත්තාම ඒ ඒ පරමාර්ථ ධර්මය ඉතා හොඳින් දැන ගත්තා වන්නේ ය. එබැවින් අටුවාවල පරමාර්ථ ධර්ම හැඳින්වීමේ දී සැම සංස්කාරයක ම ලක්ෂණාදි කරුණු සතර දක්වා තිබේ.

විශුද්ධි සත අතුරෙන් ශීල - චිත්ත විශුද්ධි දෙක විදර්ශනාවේ භූමිය ය. දෘෂ්ටි විශුද්ධ්‍යාදි විශුද්ධි පස විදර්ශනාවේ ශරීරය ය. මූල විශුද්ධි දෙක ඇති කර ගත් යෝගාවචරයා විසින් ඉන්පසු දෘෂ්ටි විශුද්ධිය ඇති කර ගැනීම සඳහා නාම - රූපයන් හැඳින ගැනීමට උත්සාහ කළ යුතු ය. එය කළ යුත්තේ ද භාවනාවෙන් ම ය. ශමථ යානිකයන් විසින් තමා ලබා සිටින ධ්‍යානය මුල් කර ගෙන, නාම-රූප පිරිසිඳ ගැනීම ආරම්භ කළ යුතු ය. විදර්ශනා යානිකයා විසින් කේසාදි කොට්ඨාසයන් මුල් කර ගෙන පළමුවෙන් රූප කොට්ඨාසය සොයා ගෙන පසුව නාම කොට්ඨාසය සොයා ගත යුතු ය. නාම රූප පිරිසිඳ දැන ගැනීම ද ඇතැම් යෝගාවචරයන් සංක්ෂේප ක්‍ර‍මයෙන් ද, ඇතැම් යෝගාවදරයන් විස්තාර ක්‍ර‍මයෙන් ද කරනු ලැබේ.

සංක්ෂේපයෙන් කරන යෝගාවචරයා: මම ය, සත්ත්වයා ය, පුද්ගලයා ය කියා සලකන ආධ්‍යාත්මික ධර්ම සමූහය විමසා නැමෙන ලක්ෂණය ඇති ධර්ම සමූහය දැක, මේ ධර්ම සමූහය නාමය ය කියා සිතින් වෙන් කර ගනී. රුප්පන ලක්ෂණය ඇති ධර්ම සමූහය දැක මේ ධර්ම සමූහය රූපය කියා සිතින් වෙන් කර ගනී. නාමය නාමය ම මිස, රූපය නො වේය යි ද, රූපයත් රූපය මිස නාමය නොවේ යයිද, නාමය නාමය මිස සත්ත්වයෙක් නො වේය - මම නො වේය යි ද, රූපයත් රූපයම මිස සත්ත්වයෙක් නොවේය. මම නොවේ යයි ද, මෙහි සත්ත්ව පුද්ගල නො වන නාම රූප දෙකොට්ඨාසය හැර පින් ප ව්කරන සැප දුක් විඳින මම ය කියාද, මනුෂ්‍යයෙක් ය දෙවියෙක් ය කියා ද, අන් කිසිවෙක් මේ නාම - රූප සමූහය අතර නැතය කියා ද දැන ගනී. මෙසේ නාම-රූප දෙක මැනවින් දැන ගැනීම සංක්ෂේපයෙන් නාම රූප පිරිසිඳ ගැනීම ය.

මම ය කියා සලකන ආධ්‍යාත්මික ධර්ම සමූහයෙහි නාමය යි කියනුයේ චිත්ත - චෛතසික සමූහයට ය. ඒවා ඇතිවන්නේ චක්ඛු - සෝත - ඝාන - ජිව්හා - කාය - හදය යන වස්තූන්හි ය. වස්තූන්හි ඇති වන ඒ ධර්ම සියල්ල ම ඇතිවන්නේ රූප - ශබ්දා දි කිසි අරමුණක් ගනිමින් ය. ඒවා ඇති වන්නේ අරමුණ දෙසට හැරී අරමුණ දෙස බලා ගෙන ඇති වන්නාක් මෙනි. නැමීම යයි කියනුයේ අරමුණට යොමු වී සිටින ස්වභාවය ය. නමන ලක්ෂණ යයි කියන්නේ ඒ ස්වභාවයට ය. නාම ධර්මයන්ගේ ඇති වීමට ස්ථාන වන රූපයන්හි ඒ අරමුණට ඇදෙන නැමෙන ස්වභාවය නැත. එබැවින් ඒවා නාම නො වේ. ඒවා ශීතෝෂ්ණාදිය කරණකොට ගෙන විකාරයට පැමිණෙන්නේ ය. රුප්පනය යි කියනුයේ ඒ විකාරයට පැමිණීම ය. ශීතෝෂ්ණාදියෙන් විකාරයට පැමිණෙන බව රූපයේ ලක්ෂණය ය.

නුවණ අධික තැනැ්තතා සංක්ෂේපයෙන් නාම-රූප දෙක පිරිසිඳ ගැන්මෙන් ම සංඥා - චිත්ත - දෘෂ්ටි විපර්‍ය්‍යාසයන් සමග සත්කාය දෘස්ටිය දුරු කර ගැනීමට සමත් වේ. ආත්ම නො වන නාම-රූප ධර්මයන් ආත්ම යි ගැනීම දෘෂ්ටි විපර්‍ය්‍යාසය ය. බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් හා ධර්මය පිළිගැනීමෙන් ද දෘෂ්ටි විපර්‍ය්‍යාසය යටපත් වේ. සංඥා - චිත්ත විපර්‍ය්‍යාස දෙක්හි ප්‍ර‍හාණය, නාම-රූප පිරිසිඳ දැනගැනීමෙන් ම මිස අන් ක්‍ර‍මයකින් සිදු නො වේ. නාම-රූප දැනීම පිරිසිදු වනතුරු සංඥා - චිත්ත විපර්‍ය්‍යාස ප්‍ර‍හාණය නො වේ. ඒ දෙක පවත්නා තුරු නාම-රූප දැනීම පිරිසිදු වුයේ නො වේ.

විස්තර වශයෙන් නාම-රූප පිරිසිඳින තැනැත්තා විසින් ස්කන්ධ - ධාතු - ආයතනාදි ක්‍ර‍මවලින් නාම-රූප පිරිසිඳ ගනු ලැබේ. ආත්මයක් ඇතය යන සංඥා - චිත්ත - දෘෂ්ටි විපර්‍ය්‍යාසයන් දුරුවන තෙක් ම නාම - රූප ධර්ම දැන ගැනීම දියුණු කළ යුතු ය.

නාම -රූපයන් හොඳින් දැනගත්තා වූ යෝගාවචරයා හට නාම-රූපයන් හැර අන් කිසිවක් නැති බව පෙනීමෙන් “ශරීරය තුළ නාම-රූපයන් ඒ ඒ වැඩවල යොදවන ආත්මයක් ඇත: ඒ ආත්මය සියලු ක්‍රියාකරනවාය - සුවදුක් විඳිනවාය - ජාතියෙන් ජාතියට යනවා ය” යන දෘෂ්ටිය දුරු වේ. නාමයට හෝ රූපයට තනි තනිව කිසි ක්‍රියාවක් නො කළ හැකි බව පෙනීමෙන් නාමය ම හෝ රූපය හෝ ඒ දෙක ම හෝ ආත්ම යයි ගන්නා දෘෂ්ටිය දුරු වේ.

කාංක්ෂා විතරණ විශුද්ධිය

“මේ නාම - රූප කෙසේ ඇති වී ද, මේවා මෙසේ ම අතීතයේදීත් තුබුණා ද, අනාගතයේ දීත් ඇති වෙනවා ද” යනාදි සැකයන් දුරු කරන නාම-රූපයන් ගේ උත්පත්ති හේතූන් දන්නා වූ ඥානය කාංක්ෂා විතරණ විශුද්ධි නම් වේ.

නාම රූපයන් ගේ තතු සොයා ගැනීමෙන් දෘෂ්ටි විශුද්ධිය ඇති කර ගත් යෝගාවචරයා හට දැන් කරන්නට ඇත්තේ කාංක්ෂා විතරණ විශුද්ධිය ඇති කර ගැනීම පිණිස නාම - රූපයන් ගේ ප්‍රත්‍ය සෙවීම ය. එය සංක්ෂේපයෙන් ද කළ හැකි ය. විස්තර වශයෙන් ද කළ හැකි ය. චක්ෂුරාදි වස්තූන් හා රූපාදි ආරම්මණයන් නිසා චක්ෂුර්විඥානාදි නාමයෝ ඇතිවන්නාහ යි ද, චිත්ත - සෘතු - ආහාරයන් නිසා රූපයෝ ඇති වන්නාහ යි ද, අවිද්‍යා - තෘෂ්ණා - උපාදාන - කර්ම යන මේවා නිසා නාම - රූප දෙකොටස ම ඇති වන්නේය යි ද සලකා ගැනීම, කොටින් නාම - රූපයන් ගේ ප්‍ර‍ත්‍යය සලකා ගැනීම ය. මෙහි අට වන පරිච්ඡේදයෙහි දැක් වූ පටිච්චසමුප්පාද ක්‍ර‍මය, ප්‍ර‍ත්‍යය සලකා ගැනීමේ විස්තාර ක්‍ර‍මය ය. ආදිකර්මිකයන් විසින් ප්‍ර‍ස්ථාන ක්‍ර‍මයෙන් ප්‍රත්‍යය සොයන්නට නො යා යුතු ය. එය ඔවුනට අවිෂය ය.

නාම - රූපයන්ගේ ප්‍ර‍ත්‍යයන් විමසන්නා වූ යෝගාවචරයාහට නාම - රූප ධර්ම සමූහය සම්පූර්ණයෙන් ම ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා බව පෙනීමෙන් අහේතුක දෘෂ්ටිය ප්‍ර‍හීණ වේ. ඒ ඒ නාම - රූප ධර්මය ඇතිවීමට නිසි හේතුවන් ම මිස, අනික් ආකාරයකින් ඒ නාම - රූපයන් ඇති නො වන බව පෙනීමෙන් මේ නාම රූපයන් දෙවියන් විසින් මවනවා ය, කාලය විසින් ඇති කරනවාය, යනාදීන් පවත්නා විෂම හේතු දෘෂ්ටිය ද ප්‍ර‍හාණය වේ. නාම - රූපයන් ගෙන් අන්‍ය වූ කර්ම කරන්නකු හා විපාක විඳින්නකු ඇතය යන දෘෂ්ටිය ද ප්‍ර‍හීණ වේ. අනවරාග්‍ර‍ සංසාරයෙහි හේතු - ඵල පරම්පරා වශයෙන් නාම - රූප දෙක, ඇති වීම දැකීමෙන් මම අතීතයෙහි දීත් වූයෙම් ද, අනාගතයෙහි ඇති වන්නෙම් ද” යනාදීන් පවත්නා සැක දුරු වේ. බුදුරජාණන් වහන්සේ ගේ දේශනය සත්‍ය බව පෙනීමෙන් බුද්ධාදි අට තැන්හි ඇතිවන සැකය දුරු වේ.

මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය

14 වන පාඩම

විදර්ශනා භාවනාව කරගෙන යන්නා වූ යෝගාවචරයා හට ආලෝකාදි උපක්ලේශයන් පහළ වීමෙන් මඟ වැරදිය හැකි තැන් ඇති වන්නේ ය. ඒ අවස්ථාවන්හි “නියම මාර්ගය මේ ය, අමාර්ගය මේ ය” යි මාර්ගාමාර්ග දෙක නො වරදවා දැන ගන්නා වූ ඥානය මාර්ගාමාර්ගඥාන දර්ශන විශුද්ධිය ය.

ප්‍ර‍ත්‍ය සහිත, නාම - රූපයන් පිරිසිඳ දැන ගත්තා වූ යෝගාවචරයා විසින් ඉදිරියට කළ යුත්තේ ත්‍රිලක්ෂණ භාවනාව ය.

ත්‍රිලක්ෂණය

අනිත්‍ය ලක්ෂණය, දුඃඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියා සංසාරයන් ගේ ලක්ෂණ තුනක් ඇත්තේය.

ඉපදීමෙන් පසු ස්ථිරව නො පවත්නා බව - බිඳී යන බව සංස්කාරයන් ගේ අනිත්‍ය ලක්ෂණය ය. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත වන බැවින් සංස්කාරයේ අනිත්‍යයෝ ය.

ස්ථිර නො වන ඒකාන්තයෙන් ම බිඳෙන සංස්කාර සමූහයක් මමය කියා සලකා ගෙන මාගේ ය කියා ඒවාට ඇලුම් කර ගෙන සිටින්නහුට ඒ සංස්කාරයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද, බිඳී යන ඒවා වෙනුවට අලුත් සංස්කාර ඇති කර ගැනීම සම්බන්ධයෙන් ද බොහෝ වෙහෙසෙන්නට සිදු වේ. සංස්කාරයන් බිඳී යාම ගැන ඔහුට නිතර බියක් ද ඇති වේ. බියක් වෙහෙසක් ඇති කර දීම සංස්කාරයන් ගේ ස්වභාවය ය. එය සංස්කාරයන් ගේ දුඃඛ ලක්ෂණය ය. දුඃඛ ලක්ෂණයෙන් යුක්ත වන බැවින් සංස්කාරයේ දුඃඛයෝ ය.

ආත්මයක්ය කියා සලකත හොත් සැලකිය යුත්තේ ස්ථිර සාර දෙයක්ය. දිර දිරා බිඳි බිඳී යන සංස්කාරයන්හි ඒ ස්ථිර සාර ස්වභාවය නැත. ඒවායේ ඇත්තේ ස්ථිර සාර ස්වභාවයට විරුද්ධ ස්වභාවයෙකි. ස්ථිර සාර ස්වභාවයක් නැති බව සංස්කාරයන් ගේ අනාත්ම ලක්ෂණය ය. අනාත්ම ලක්ෂනයෙන් යුක්ත වන බැවින් සංස්කාරයේ අනාත්මයෝ ය.

අනුපස්සනා තුන.

“අනිච්චානුපස්සනා - දුක්ඛානුපස්සනා - අනත්තානුපස්සනා” යි අනුපස්සනා තුනෙකි. අනුපස්සනා යනු භාවනාව ය.

රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය යනාදීන් නාම - රූපයන් හා ඒවායේ අනිත්‍යතාව නැවත නැවත සිත සිතා නුවණින් බැලීම අනිච්චානුපස්සනාව ය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් අනිත්‍ය භාවනාව ය.

රූපය දුකෙකි. වේදනාව දුකෙකි යනාදීන් නාමරූපයන් හා ඒවායේ දුඃඛ ලක්ෂණය නැවත නැවත සිතා බැලීම දුක්ඛානුපස්සනාව ය.

රූපය අනාත්මය, වේදනාව අනාත්මය යි නාම - රූපයන් හා ඒවායේ අනාත්ම ලක්ෂණය නැවත නැවත සිතා බැලීම අනත්තානුපස්සනාව ය.

කාංක්ෂාවිතරණ විශුද්ධිය ඇති කර ගත් යෝගාවචරයා විසින් ඉදිරියට කළ යුත්තේ, සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් නැවත නැවත සිහි කිරීම් - බැලීම් වශයෙන් භාවනාවෙහි යෙදීම ය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් ත්‍රිලක්ෂණ භාවනාව කිරීම ය. එය කිරීමෙහි දී සංස්කාරයන් එකින් එක ගෙන ඒවායේ අනිත්‍යාදි ලක්ෂණ බලන්නට ගිය හොත් එය ඉවර කළ නො හෙන වැඩක් බැවින් එසේ ද නො කළ යුතු ය. සකල සංස්කාරයන් ම එක වරට ම සිතින් ගෙන ඒවායේ අනිත්‍යාදිය සිතුවත් සංස්කාර ඉතා බොහෝ බැවින් පිරිසිදු වැටහීමක් ඇති කර ගත නො හැකි ය. එබැවින් සංස්කාර විදර්ශනා කරන යෝගාවචරයා විසින් ස්කන්ධාදි ක්‍ර‍මවිල්න ඒ ඒ සංස්කාරයන් කලාප වශයෙන් ගෙන, රූපය අනිත්‍යය - වේදනාව අනිත්‍යය යනාදීන් නොයෙක් ක්‍ර‍මවලින් විදර්ශනා කළ යුතු ය. සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ තුන හොඳින් වැටහුණු පසු, ඒ නාම රූපයන්ගේ ඉපදීම් බිඳීම් දෙක බැලීමට පටන් ගත යුතු ය. එය මේ මේ හේතූන් ඇති කල්හි මේ මේ ධර්ම වෙනවාය හේතු නැති කල්හි නැති වෙනවාය කියා හේතූන් අනුව ද කළ යුතු ය. හේතූන් අපේක්ෂා නො කොට නාම රූපයන්ගේ ඇති වීම් නැති වීම් බැලීම ද කළ යුතු ය. සංස්කාරයන්ගේ ඉපදීමට ‘උදය’ යි ද බිඳීමට ‘ව්‍යය’ යයි ද කියනු ලැබේ. සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් දෙක බලමින් ඉන්නා යෝගාවචරයා හට උදයව්‍යය ඥානය දියුණු තියුණු වන කල්හි විදර්ශනෝපක්ලේශයෝ පහළ වෙති.

විදර්ශනෝපක්ලේශ දශය

15 වන පාඩම

අවභාසය, ප්‍රීතිය, ප්‍ර‍ශ්‍ර‍බ්ධිය, අධිමෝක්ෂය, ප්‍ර‍ග්‍ර‍හය, සුඛය, ඥානය, ස්මෘතිය, උපේක්ෂාව, නිකාන්තිය යනඳ”ඬ’ඟ මේ දශය විදර්ශනෝපක්ලේශයෝ ය. විදර්ශනෝපක්ලේශයෝ ය යනු යෝගාවචරයා නො මඟ යවන විදර්ශනාවට බාධක කරුණු කොටසකි. විදර්ශනාව මැනවින් නො කළ යෝගාවචරයන්ට ද ඒවා ඇති නො වේ. ඒවා ඇති වීම එතෙක් විදර්ශනාව හොඳින් කැරුණු බවට ලකුණෙකි.

අවභාසය යනු විදර්ශනා බලයෙන් ම ඇති වන යෝගාවචරයාට පමණක් පෙනෙන - සෙස්සන්ට නො පෙනෙන ආලෝක විශේෂයකි. එය ඇතැම් යෝගාවචරයයනට තමන් ගේ ශරීරය පමණක් පෙනෙන සැටියට ද, ඇතැමුන්ට තමන් ඉන්නා කාමරය සැම තැනම පෙනෙන සැටියට ද, ඇතැමකුට ගවු ගණනක් - යොදුන් ගණනක් දුර පෙනෙන සැටියට ද ඇති වේ.

ප්‍රීතිය යනු විදර්ශනා ඥානය යහපත් වීම නිසා, සංස්කාරයන්ගේ උදය - ව්‍යය දෙක ඉතා හොඳින් පෙනීම නිසා හට ගන්නා බලවත් ප්‍රීතිය ය.

ප්‍ර‍ශ්‍ර‍බ්ධිය යනු විදර්ශනාවෙන් ඇති වන කාය - චිත්ත දෙක්හි සන්සිඳීම ය. ඒ සන්සිඳීම නිසා කිසිදු අපහසුවක් නැති ව යෝගාවචරයාට කැමති තාක් කල් භාවනාවෙහි යෙදිය හැකි වේ. කාලය ගත වන බව පවා නො දැනේ.

අධිමෝක්ෂය යනු බලවත් ශ්‍ර‍ද්ධාව ය. මේ අවස්ථාවේ දී යෝගාවචරයා හට විදර්ශනා චිත්තය සමග අතිශයින් සිත ප්‍ර‍සන්න කරන බලවත් ශ්‍ර‍ද්ධාවක් ඇති වේ.

ප්‍ර‍ග්‍ර‍හය යනු වීර්‍ය්‍යය ය. මේ අවස්ථාවෙහි දී යෝගාවචරයා හට විදර්ශනා චිත්තය සමග ඉතා ලිහිල් නො වූ ද, ඉතා වේගවත් නො වූ ද යහපත් වීර්‍ය්‍යයක් ඇති වේ.

සුඛය යනු විදර්ශනා චිත්තය හා ඇති වන සකල ශරීරයේ ම පැතිර යන සකල ශරීරය පිනවන බලවත් සුඛයෙකි.

ඥානය යනු රූපාරූප ධර්මයන් කෙරෙහි විනිවිද යන ඉතා තියුනු විදර්ශනා ඥානය ය.

ස්මෘතිය යනු විදර්ශනා චිත්ත සම්ප්‍ර‍යුක්ත ස්මෘති චෛතසිකය ය. මේ අවස්ථාවෙහි යෝගාවචරයා හට තමා ගේ සිත පර්වතයක් සේ නො සෙල්වී විදර්ශනා කරන සංස්කාරයන් කෙරෙහි පිහිටන බලවත් සිහියක් ඇති වේ.

උපේක්ෂාව යනු තත්‍ර‍මධ්‍යස්ථතා උපේක්ෂාවය ආවර්ජනෝපේක්ෂාව ය යන උපේක්ෂා දෙක ය.

නිකාන්ති යනු ආලෝකාදියෙන් ප්‍ර‍තිමන්ඩිත විදර්ශනයට ඇලුම් කරන සූක්ෂ්ම තෘෂ්ණාව ය. එය ක්ලේශයක් බව දැන ගැනීමට අපහසු වන ඉතා සියුම් ලෝභයෙකි. නියම විදර්ශනෝපක්ලේශය ඒ නිකාන්තිය ය. ආලෝකාදිය උපක්ලේශ වන්නේ නිකාන්තියට හේතු වන නිසා ය.

ආලෝකාදිය පහළ වූ කල්හි අව්‍යක්ත යෝගාවචරයා “මට මින් පෙර මෙබඳු ආලෝකයක් - මෙබඳු ප්‍රීතියක් - මෙබඳු නුවණක් කිසි කලෙක ඇති වූයේ නැත. දැන් මා හට මේ පුදුම දේවල් ඇති වන්නේ මාර්ගයට ඵලයට පැමිණ ඇති නිසා ය” කියා භාවනාව හැර දමන්නේ ය. සෝවාන් නො වීම සෝවාන් වූයෙමි යි කියා හෝ රහත් නොවීම රහත් වූයෙමි යි කියා හෝ හැසිරෙන්නේ ය. ව්‍යක්ත යෝගාවචරයා වනාහි ආලෝකාදිය ගැන සියුම් තෘෂ්ණාවක් ඇති වන බව තේරුම් ගෙන එය වැඩුණ හොත් තමා නිර්වාණ මාර්ගයෙන් පහ වී නැවතත් සංසාර මාර්ගයට වැටෙන බවත් තේරුම් ගෙන, ඒ තණ්හාව දුරු කරනු පිණිස මේ ආලෝකය අනිත්‍ය ධර්මයෙකි, බිය ඇති කරන බැවින් දුකෙකි. අසාර බැවින් අනාත්මයෙකි යනාදීන් විදර්ශනා කොට ආලෝකාදිය ගැන ඇති වන තණ්හාව දුරු කරන්නේ ය. ආලෝකාදි විදර්ශනාවට බාධක ධර්මයන් එසේ අනිත්‍යාදි වශයෙන් සලකා තෘෂ්ණාව දුරු කර ගෙන සිටින්නා වූ යෝගාවචරයා ගේ මාර්ගාමාර්ග දෙක්හි ලක්ෂණ තේරුම් ගන්නා වූ ඥානය මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය යි.

ප්‍ර‍තිපද් ඥාන දර්ශන විශුද්ධිය

16 වන පාඩම

සම්මර්ශන ඥානය, උදයව්‍යය ඥානය, භඞ්ගානුදර්ශන ඥානය, භයතුපට්ඨාන ඥානය, ආදීනවානුදර්ශන ඥානය, නිර්විදානුදර්ශන ඥානය, මුඤ්චිතුකම්‍යතා ඥානය, පටිසඞ්ඛානුපස්සනා ඥානය, සංස්කාරෝපේක්ෂා ඥානය, අනුලෝම ඥානය කියා විදර්ශනාඥාන දසයක් ඇත්තේ ය.

සම්මර්ශන ඥානය

නාමරූප ධර්මයන්ගේ අනිත්‍යාදි ලක්ෂන තුන දැන ගන්නා වූ ඥානය සම්මර්ශන ඥාන නම් වේ. එය මාර්ගාමාර්ගඥාන දර්ශන විශුද්ධිය ඇති කර ගෙන සිටින යෝගාවචරයා විසින් දැනට ලබා ගෙන ඇත්තේ ය. ඔහුට ඉදිරියට ඇත්තේ උදයව්‍යය ඥානාදි ඥාන නවය ඇති කර ගැනීමට භාවනා කිරීම ය. මාර්ගාමාර්ගඥාන දර්ශනවිශුද්ධිය ඇති කර ගත් තැනැත්තා හට ඉදිරියට විදර්ශනා කිරීමේ දී ඇති වන උදයව්‍යය ඥානයේ පටන් අනුලෝම ඥානය දක්වා ඇති විදර්ශනා ඥාන නවය ප්‍ර‍තිපද් ඤාණ දර්ශන විශුද්ධිය ය.

උදයව්‍යය ඥානය

කලින් නො තිබී අලුත් අලුත් සංස්කාරයන් උපදින සැටිත් උපනුපන් සංස්කාර සියල්ල බිඳි බිඳී යන සැටිත් දක්නා විදර්ශනා ඥානය ‘උදයව්‍යය ඥාන’ නමි.

භඞ්ගානුදර්ශන ඥානය

තමා ගේ සිතට හසුවන හසුවන සංස්කාරයන් ගේ ඉපදීම් බිඳීම් දෙක බැලීම් වශයෙන් විදර්ශනා කරන යෝගාවචරයා ගේ ඥානය දියුණු තියුණු වීමෙන් ඉතා ඉක්මනින් ඔහුගේ සිතට බොහෝ සංස්කාරයන් වැටහෙන්නට, ඒ සියල්ලෙහි ම ඉපදීම් බිඳීම් දෙක සිහි කරන්නට ඔහුට කාලයක් නැති වන්නේ ය. ඉන් පසු යෝගාවචරයා වැටහෙන සංස්කාරයන් ගේ ඉපදීම මෙනෙහි කිරීම අත හැර ඒවායේ භඞ්ගය පමණක් බලන්නට වන්නේ ය. ඔහුට වැසි වටනා අවස්ථාවෙක ජලාශයක් දෙස බලා ඉන්නා කල්හි දිය බුබුලු බිඳි බිඳී යනවා පෙනෙන්නාක් මෙන් ස්වසන්තානයෙහි සංස්කාරයන් බිඳි බිඳී යන සැටි නුවණට පෙනෙන්නට වන්නේ ය. සංස්කාරයන් ගේ බිඳීම ද දක්නා වූ ඒ ඥානය ‘භඞ්ගානුදර්ශන ඥාන’ නම් වේ.

භයතුපට්ඨාන ඥානය

කාම-රූප-අරූප සඞ්ඛ්‍යාත භවත්‍රයෙහි සැම තැන ම කබලක අබ පුපුරන්නාක් මෙන් සංස්කාරයන් බිඳි බිඳී යනු දක්නා යෝගාවචරයා හට බිඳි බිඳී යන සංස්කාර සමූහය බිය විය යුත්තක් හැටියට පෙනෙන්නට වන්නේ ය. සංස්කාරයන් භයානක සැටියට දක්නා ඒ විදර්ශනා ඥානය ‘භයතුපට්ඨාන ඥානය’ නම් වේ.

ආදීනවානුදර්ශන ඥානය

සංස්කාරයන් ගේ බිඳීම කාහටවත් කවර උපායකින්වත් නො නැවැත්විය හැකි ය. ඒවාට කිසිම පිහිටක් නැත. අසරණය. සංස්කාරයන් ගේ ඒ අසරණ බව දක්නා විදර්ශනා ඥානය ‘ආදීනවානුදර්ශන ඥානය’ ය.

නිර්විදානුදර්ශන ඥානය

අතීතයෙහි යෝගාවචරයා විසින් මම ය මගේ ය කියා ඇලුම් කරමින් සිටි සංස්කාර ධර්ම සමූහය අසරණ බව පෙනීමෙන් යෝගාවචරයා ඒවා ගැන කලකිරීමක් ඇති වන්නේය. සංස්කාර රාශිය යෝගාවචරයාට එපා වන්නේ ය. සංස්කාරයන් කෙරෙහි කලකිරුණු ස්වභාවයෙන් යුක්ත වන විදර්ශනා ඥානය ‘නිර්විදානුදර්ශන ඥානය’ නම් වේ.

මුඤ්චිතුකම්‍යතා ඥානය

කලකිරුණා වූ ඒ සංස්කාරයන් කෙරෙන් මිදීමේ අදහස සහිත වූ විදර්ශනා ඥානය ‘මුඤ්චිතුකම්‍යතා ඥාන’ නම් වේ.

පටිසඞ්ඛානුපස්සනා ඥානය

සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමති යෝගාවචරයා විසින් ඒවායින් මිදීමේ උපායයක් වශයෙන් සංස්කාරයන් අනේකාකාරයෙන් විස්තර වශයෙන් විදර්ශනා කරන්නා වූ පෘථුල විදර්ශනා ඥානය “පටිසඞ්ඛානු පස්සනා ඥාන” නම් වේ.

සංස්කාරෝපේක්ෂා ඥානය

පටිසඞ්ඛානුපස්සනා ඥානයෙන් සංස්කාරයන්ගේ මහා ආදීනව රාශිය දැක, දැන් ‘දුකින් මිදීමේ උපාය ලදිමි’ යි සතුටු ව සංස්කාරයන් විමසීම සඳහා බලවත් උත්සාහය හැර සම වූ ව්‍යායාමයෙන් පවත්වන විදර්ශනා ඥානය ‘සංස්කාරෝපේක්ෂා ඥානය’ ය. සංස්කාර විමසීමේ උත්සාහයෙන් තොර වුව ද මේ ඥානය පළමු ඥාන සියල්ලට ම වඩා බලවත් ය. අහසට ගෙ ගොස් අත්හළ ගල නිරුත්සාහයෙන් ඉතා වේගයෙන් පොළොව දෙසට එන්නාක් මෙන් මේ ඥානය ද ඉබේ ම සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂණයන්හි ඉතා වේගයෙන් පවතී.

අනුලෝම ඥානය

සංස්කාරෝපේක්ෂා ඥානය දියුණු වී ලෝකෝත්තර මාර්ගඥානය උපදින්නට ඉතා සමීප වූ කාලයේ දී ඇතිවන උදයව්‍යය ඥානාදි විදර්ශනා ඥාන අටට හා ලෝකෝත්තර මාර්ග ඥානයට අනුකූලව පවත්නා විදර්ශනාඥානය ‘අනුලෝම ඥාන’ නම් වේ.

ඥාන දර්ශන විශුද්ධිය

කියන ලද පරිද්දෙන් භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයා හට විදර්ශනා ඥානය දියුණු වී අර්පණා නම් වූ ලෝකෝත්තර මාර්ග චිත්තය උපදින්නට ඉතා ම ළං වූ කල්හි භවාඞ්ග චිත්ත පරම්පරාව සිඳී උපන්නා වූ මනෝද්වාරාවජ්ජන චිත්තයට අනතුරු ව, අනිත්‍යාදි ලක්ෂණත්‍රයෙන් යම් කිසිවක් අරමුණු කරමින් විදර්ශනා සිත් දෙකක් හෝ තුනක් පරිකර්ම, උපචාර, අනුලෝම යන නම්වලින් ඉපද නිරුද්ධ වන්නේ ය. වුට්ඨාන (ව්‍යුත්තාන) යනු ද ලෝකෝත්තර මාර්ග චිත්තයට ව්‍යවහාර කරන නාමයෙකි. විදර්ශනාවට අරමුණු වූ සංස්කාර නිමිත්තෙන් ද, සංයෝජනයන්ට වස්තු වන ස්වභාවයෙන් ද, නැඟී සිටින බැවින් ලෝකෝත්තර මාර්ග චිත්තය උට්ඨාන නම් වේ. එය ඇති වන පුද්ගලයා පෘථග්ජන භාවයෙන් හා සංසාරයෙන් ද නගා සිටවන බැවින් ද, මාර්ග චිත්තය වුට්ඨාන නම් වේ. පරිකර්ම, උපචාර, අනුලෝම නාමයෙන් ඇති වන විදර්ශනා චිත්තයන්ට අනතුරු ව ඥාන සම්ප්‍ර‍යුක්ත කාමාවචර කුශලයන් අතුරෙන් යම් කිසි සිතක් නිර්වාණය අරමුණු කරමින් යෝගාවචරයා ගේ පෘථග්ජන භාවය නැති කරමින් ඔහු ආර්ය භාවයට පමුණුවමින් ගෝත්‍ර‍භූ යන නාමයෙන් උපදනේ ය. එයට අනතුරු ව දුඃඛ සත්‍යය පිරිසිඳ දනිමින්, සමුදය සත්‍යය ප්‍ර‍හාණය කරමින්, නිරෝධ සත්‍යය අරමුණු කිරීම් වශයෙන් ප්‍ර‍ත්‍යක්ෂ කෙරෙමින්, මාර්ග සත්‍ය සඞ්ඛ්‍යාත ලෝකෝත්තර අෂ්ඨාඞ්ගික මාර්ගය හා සම්ප්‍ර‍යුක්ත වන සෝවාන් මාර්ග චිත්තය ජවන කෘත්‍යයෙන් එක් වරක් උපදනේ ය. එයට අනතුරු ව සෝවාන් ඵල චිත්තය දෙවරක් හෝ තුන් වරක් ඉපදීමෙන් පසු භවාඞ්ග පතනය වන්නේ ය. මෙය සිදුවීමෙන් යෝගාවචරයා පෘථග්ජන භාවය ඉක්මවා සෝවාන් පුද්ගලයාය කියනු ලබන ආර්ය පුද්ගලයා වන්නේ ය.

ඉක්බිති ඒ සෝවාන් පුද්ගලයා තමා පැමිණි මාර්ගයත්, එයින් ලැබූ ඵලයත්, තමාට ප්‍ර‍හීන ක්ලේශත්, ඉතිරි ක්ලේශත්, නිර්වාණයත් ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නේ ය. සියලු ම ආර්‍ය්‍යයෝ එසේ ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නාහ. අර්හත් පුද්ගලයාට ඉතිරි ක්ලේශයක් නැති බැවින් අනික් කරුණු සතර පමණක් ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නේ ය.

සෝවාන් පුද්ගලයා ද සකෘදාගාමි මාර්ගයට ඵලයට පැමිණෙනු කැමති කල්හි පෙර සේ ම සංස්කාරයන් විදර්ශනා කරන්නේ ය. ඉහත කී පරිදි සංස්කාරෝපේක්ෂා ඥානය තියුණු වී ඇති වූ අවස්ථාවක දී අනුලෝම ගෝත්‍ර‍භූ ඥානයන් ඉපද සකෘදාගාමි මාර්ග චිත්තය හා ඵල චිත්තය උපදනේ ය. අනාගාමි අර්හත් මාර්ග ඵල උපදින්නේ ද ඒ ක්‍ර‍මයෙන් ම ය.

මෙසේ උපදනා වූ ලෝකෝත්තර මාර්ග සතරට ඥාන දර්ශන විශුද්ධිය යි කියනු ලැබේ.

(බොහෝ පොත්වල මෙතැන්හි විමෝක්ෂ භේදය දක්වා ඇතත් සාමාන්‍ය ජනයාට එයින් එතරම් ප්‍රයෝජනයක් නැති බැවින් මෙහි නො දක්වනු ලැබේ. විදර්ශනා භාවනා ක්‍ර‍මය පොතේ 6 වන පරිච්ඡේදය)

14. ආර්‍ය්‍ය පුද්ගලයෝ

17 වන පාඩම

විදර්ශනා භාවනාව කොට ලෝකෝත්තර මාර්ග ඵල උපදවා ගත් පුද්ගලයෝ ආර්‍ය්‍ය පුද්ගලයෝ ය. සෙස්සෝ පෘථග්ජනයෝ ය.

සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය, සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, අනාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය, අර්හත් ඵලස්ථ පුද්ගලයා ය කියා ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙනෙකි. මාර්ගස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. ඵලස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. එක් පුද්ගලයකු මාර්ගස්ථ පුද්ගලයකු වශයෙන් ඉන්නේ ඔහුගේ සන්තානයෙහි ලෝකෝත්තර මාර්ග චිත්තය පවත්නා අවස්ථාවෙහි පමණෙකි. එය ඉතා කෙටි කාලයෙකි. එබැවින් මාර්ගස්ථ පුද්ගලයකු නොසෙවිය හැකි ය. මාර්ග චිත්තය නිරුද්ධ වනු සමග ම ඵල චිත්තය ඇති වීමෙන් මාර්ගස්ථ පුද්ගලයා ඵලස්ථ පුද්ගලයෙකු වන්නේ ය. මාර්ගස්ථ පුද්ගල අවස්ථාව ක්ෂණික බැවින් සෝවාන් පුද්ගලයා ය, සකෘදාගාමි පුද්ගලයා ය, අනාගාමි පුද්ගලයා ය, අර්හත් පුද්ගලයා ය යන නම් බෙහෙවින් ව්‍යවහාර වන්නේ ඵලස්ථ පුද්ගලයන් සඳහා ය.

ක්ලේශ ප්‍ර‍හාණය

දෘෂ්ටිය ය, විචිකිත්සාවය යන ක්ලේශ දෙක සෝවාන් මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. අපායෙහි උපදවන තරමට ඖදාරික වූ අන්‍ය ක්ලේශයෝ ද ප්‍ර‍හාණය කරනු ලැබෙත්.

සිත් වශයෙන් කියත හොත් මෙසේ ය:- දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත සිත් සතර ය, විචිකිත්සා සහගත සිත ය යන මේ සිත් පස සෝවාන් මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. අපායයෙහි ඉපදීමට හේතු වන තරමට ඖදාරික ව ඇති වන දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය යන මේවා ද ප්‍ර‍හාණ ය කරනු ලැබේ.

අපායෝත්පත්තියට හේතු වන තරමට ඖදාරික නො වූ දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය, උද්ධච්ච සහගත සිත ය යන මේවා සෝවාන් පුද්ගලයාට ඉතිරි ව ඇත්තේ ය.

සකෘදාගාමි මාර්ගයෙන් ඖදාරික ලෝභ - ද්වේෂ - මෝහයෝ ප්‍ර‍හාණය කරනු ලැබෙත්. සකෘදාගාමි පුද්ගලයාට ඒ කෙලෙස් ඇති වන්නේ ද කලාතුරකිනි. කලාතුරකින් ඇති වන කල්හි ද ඖදාරික වශයෙන් ඇති නොවේ.

සිත් වශයෙන් කියත හොත් මෙසේ ය:- ඖදාරික වූ දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය යන මේවා සකෘදාගාමි මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. සූක්ෂ්ම වූ දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත්සතර ය, ද්වේෂ මූල සිත් දෙක ය, උද්ධච්ච සහගත සිත ය යන මේවා සකෘදාගාමි පුද්ගලයාට ඉතිරි ව ඇත්තේ ය.

අනාගාමි මාර්ගයෙන් කාමරාගය හා ව්‍යාපාදය සම්පූර්ණයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. සිත් වශයෙන් කියත හොත් මෙසේ ය:- කාමරාග සහිත වූ දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත් සතර ය, ද්වේෂ මූල සිත් දෙකය යන මේවා අනාගාමි මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ.

රූපරාග - අරූපරාග සහිත දෘෂ්ටිවිප්‍ර‍යුක්ත සිත් සතර හා උද්ධච්ච සහගත සිත අනාගාමි පුද්ගලයාට ඉතිරි ව ඇත්තේ ය.

රූපරාග - අරූපරාග - මාන - උද්ධච්ච - අවිජ්ජා යන මේවා අර්හත් මාර්ගයෙන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ.

සිත් වශයෙන් මෙසේ ය:- රූපරාග - අරූපරාග මාන සහිත වූ සූක්ෂ්ම දෘෂ්ටිවිප්‍ර‍යුක්ත සිත් සතර හා උද්ධච්ච සහගත සිත ද අර්හත් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ. අර්හත් පුද්ගලයාට ඉතිරි කෙලෙස් නැත්තේ ය.

සමාපත්ති

“ධ්‍යාන සමාපත්තිය, ඵල සමාපත්තිය, නිරෝධ සමාපත්තිය” කියා සමාපත්ති තුන් වර්ගයක් ඇත්තේ ය.

යම් කිසි රූපාවචර - අරූපාවචර ධ්‍යාන චිත්තයකින් යුක්ත ව වාසය කිරීමට “ධ්‍යාන සමාපත්තිය” යි කියනු ලැබේ. පළමුවෙන් ධ්‍යාන ලබන අවස්ථාවෙහි ඒ සඳහා භාවනා කරන්නා වූ තැනැත්තාට පරිකර්ම - උපචාර - අනුලෝම - ගෝත්‍ර‍භූ යන නම්වලින් කාමාවචර ජවන චිත්තයන් තුන් වරක් හෝ සතර වරක් ඉපද නිරුද්ධ වීමෙන් පසු එක් වරක් ධ්‍යාන චිත්තය ඇති වී භවාඞ්ග වේ. පළමුවෙන් ධ්‍යාන උපදවන තැනැත්තාට “ආදිකර්මිකයා” ය යි කියනු ලැබේ. මෙසේ වරක් ධ්‍යානය ලැබූ තැනැත්තා නැවත ඒ ධ්‍යාන චිත්තය උපදවා ගැනීම සඳහා භාවනා කළ හොත් පෙර සේ ම තුන් වරක් හෝ සතර වරක් හෝ කාමාවචර ජවනයක් ඉපද නිරුද්ධ වූ පසු ධ්‍යාන චිත්තය වාර බොහෝ ගණනක් ඇති වන්නේ ය. යෝගාවචරයාගේ සමාධි දියුණුවේ සැටියට භවාඞ්ග නො වී දිගට ම වාර දහස් ගණන් ලක්ෂ ගණන් ධ්‍යාන සිත ම ඇති වේ. ඔහුට පැය ගණනක් වුව ද එසේ වාසය කළ හැකි ය. එය ධ්‍යාන සමාපත්තිය ය.

ලෝකෝත්තර ඵල චිත්තයෙන් යුක්ත ව වාසය කිරීම ඵල සමාපත්තිය ය. වරක් ලෝකෝත්තර ඵලයක් ලබා ගත් තැනැත්තා එය උපදවා ගැනීමට නවැතත් භාවනා කළ හොත් ඔහුට ද ධ්‍යාන සිත් සේ ම භවාඞ්ග නො වී ම දහස් ගණන් - ලක්ෂ ගණන් ඵල සිත් දිගට ම ඇති වේ.

සිත් ඉපදීම සම්පූර්ණයෙන් ම නවත්වා ගෙන විසීම නිරෝධ සමාපත්තිය ය. නිරෝධ සමාපත්තියට සමවැදිය හැක්කේ අෂ්ට සමාපත්තිලාභී අනාගාමීන්ට හා රහතුන්ට පමණෙකි. ඔවුහු වර්තමාන භවයේ දී ම නිවන් සුවය ලබනු කැමැත්තෙන් නිරෝධ සමාපත්තියට සමවදිති. අරූප භවයේ අනාගාමීන්ට හා රහතුන්ටත් එය නො කළ හැකි ය.

අෂ්ටසමාපත්ති අනාගාමී හෝ අර්හත් පුද්ගලයා නිරෝධ සමාපත්තියට සමවදිනු කැමති කල්හි විවේකස්ථානයක හිඳ පළමුවෙන් ප්‍ර‍ථම ධ්‍යානයට සමවැදී එයින් නැඟිට ඒ ප්‍ර‍ථමධ්‍යානයට අයත් සංස්කාරයන් අනිත්‍ය වශයෙන් ද, දුඃඛ වශයෙන් ද, අනාත්ම වශයෙන් ද විදර්ශනා කරන්නේ ය. ඉක්බිති ද්විතීය ධ්‍යානයට සමවැදී එයින් නැඟිට, එයට අයත් සංස්කාර අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරන්නේ ය. ඉක්බිති තෘතීය ධ්‍යානයට සමවැදී එයින් නැඟිට, එයට අයත් සංස්කාර අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරන්නේ ය. මෙසේ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය දක්වා කොට, විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට සමවැදී ඉන් නැඟිට නානාබද්ධඅවිකෝපනය, සඞ්ඝපතිමානනය, සත්ථුපක්කෝසනය, අද්ධාන පරිච්ඡේදය යන පූර්ව කෘත්‍යය සතර කොට, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට සමවදින්නේ ය. නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තය වරක් දෙකක් ඇති වීමෙන් පසු ඒ පුද්ගලයා කෙරෙහි සිත් ඉපදීම නවතින්නේ ය. එය නිරෝධ සමාපත්තිය ය. නිරෝධයෙන් විසීමට ඉටා ගත් කාලය ඉක්මුණු පසු එයට සමවන් තැනැත්තා අනාගාමි පුද්ගලයෙක් නම් ආනාගාමි ඵල සිත ද, අර්හත් පුද්ගලයෙක් නම් අර්හත් ඵල සිත ද එක් වරක් ඇති වීමෙන් පසු භවාඞ්ගපතනය වේ. ඉන් පසු සිරිත් පරිදි සිත් උපදින්නට වන්නේ ය.

පූර්වකෘත්‍ය සතරෙන් නානාබද්ධ අවිකෝපනය යනු “තමාගේ ශරීරයට සම්බන්ධ වී නැති යම් පරිෂ්කාරයක් වේ නම්, ඒවා නිරෝධ සමාපත්තියෙන් ඉන්නා කාලය තුළදී විනාශ නො වේවා” ය කියා අධිෂ්ඨාන කිරීම ය. නිරෝධ සමාපත්තියට සමවන් පුද්ගලයාගේ ශරීරයට හෝ ශරීරය හා බැඳී පවත්නා වස්තුවකට හෝ නිරෝධ සමාපත්ති කාලය තුළ දී ගිනි - දිය ආදි කිසිවකින් අනතුරක් නො වේ. එය සමාපත්තියේ ම ආනුභාවය ය. ශරීරය හා නො බැඳුණු පරිෂ්කාරයන් එසේ නො රැකෙන බැවින් ඒවා ගැන අධිෂ්ඨාන කළ යුතු ය.

සඞ්ග ප්‍ර‍තිමානනය යනු “සඞ්ඝයාහට විනය කර්‍මයක් සඳහා තමා වුවමනා වුවහොත් එකෙණෙහි සමාපත්තියෙන් නැගිටීම වේවා!” කියා ඉටා ගැනීම ය. සත්ථුපක්කෝසන යනු “බුදුන් වහන්සේට තමා හමුවන්නට වුවමනා වී නම් එකෙණෙහි ම සමාපත්තියෙන් නැඟිටීම සිදු වේවා” ය කියා ඉටා ගැනීම ය.

අද්ධාන පරිච්ඡේදය යනු “තමාගේ ආයුෂය ගැන සලකා බැලීම ය.” නිරෝධ සමාපත්ති කාලය තුළදී මරණය වන්නට ඇත හොත් සමාපත්තියෙන් නැඟිටින්නට සිදු වේ. එබැවින් ජීවිතය පවත්නා කාලය ගැන බැලිය යුතු ය.

15. අර්පණා වීථි

18 වන පාඩම

මහද්ගත - ලෝකෝත්තර ජවනයන් වන්නා වූ වීථිහු “අර්පණා වීථි” නම් වෙති. ධ්‍යාන වීථිය, මාර්ග වීථිය, ඵලසමාපත්ති වීථිය, අභිඥා වීථිය, නිරෝධ සමාපත්ති වීථිය කියා අර්පණා වීථි පස් කොටසකි.

ප්‍ර‍ථම ධ්‍යාන වීථිය, ද්විතීය ධ්‍යාන වීථිය, තෘතීය ධ්‍යාන වීථිය, චතුර්ථ ධ්‍යාන වීථිය, පඤ්චම ධ්‍යාන වීථිය, ආකාසානඤ්චායතන ධ්‍යාන වීථිය, විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන වීථිය, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන වීථිය, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන වීථිය කියා ධ්‍යාන වීථි නවයක් වන්නේ ය. එයින් එක් එක් වීථියක් ආදිකර්මික වීථි - සමාපජ්ජන වීථි වශයෙන් දෙක බැගින් වීමෙන් ධ්‍යාන වීථි අටළොසක් වන්නේ ය.

ධ්‍යාන මාර්ග ඵල ලැබිය හැක්කේ ඥාන සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍තිසන්ධියක් ලැබීමෙන් උත්පත්තියෙන් ම නුවණ ලැබූ පුද්ගලයන්ට ය. නුවණ මඳ පුද්ගලයන් විසින් ධ්‍යානාදිය නො ලැබිය හැකි ය. නුවණැති පුද්ගලයෝ ද “තියුණු නුවණ ඇතියෝ ය, නො තියුණු නුවණ ඇතියෝ ය” යි දොකොටසක් වෙති. මේ ධර්මයෙහි තියුණු නුවණ ඇතියන්ට ක්ෂිප්‍රාභිඥ යන නම ද, නො තියුණු නුවණ ඇතියන්ට දන්ධාභිඥ යන නම ද ව්‍යවහාර කරනු ලැබේ.

ඉහත කී ධ්‍යාන වීථි අටළොසකින් එක් වීථියක් දන්ධාභිඥ-ක්ෂිප්‍රාභිඥ පුද්ගලයන්ගේ වශයෙන් දෙක බැගින් වීමෙන් ධ්‍යාන වීථි සතිසක් ඇත්තේ ය. එයින් ද එක් එක් වීථියක් කුශල ධ්‍යාන - ක්‍රියා ධ්‍යානයන් ගේ වශයෙන් දෙක බැගින් වන බැවින් ධ්‍යාන වීථි දෙසැත්තෑවක් වන්නේ ය.

ප්‍ර‍ථම ධ්‍යාන ආදිකර්මික වීථි දෙක.

ප්‍ර‍ථම ධ්‍යානය ලැබීමට නිසි භාවනාවක යෙදෙන්නා වූ යෝගාවචරයා හට ධ්‍යානය ලැබීමට ළං වූ කල්හි භවාඞ්ග චලන - භවාඞ්ගුපච්ඡේදයන් ගෙන් පසු භාවනාරම්මණය අරමුණු කොට මනෝද්වාරාවජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වේ. ඉක්බිති ඒ ආරම්මණය ම ගනිමින් ඥාන සම්ප්‍ර‍යුක්ත කාමාවචර ජවනයන් අතුරෙන් යම් කිසි එක් ජවනයක් පරිකර්මය - උපචාරය අනුලෝමය - ගෝත්‍ර‍භූය යන නම්වලින් සතර වරක් ඉපද නිරුද්ධ වීමෙන් පසු ප්‍ර‍ථම ධ්‍යාන චිත්තය - එක් වරක් ඉපද නිරුද්ධ වේ. අනතුරු ව භවාඞ්ග වේ. මේ දන්ධාභිඥ පුද්ගලයාගේ ප්‍ර‍ථම ධ්‍යාන ආදිකර්මික වීථිය ය.

ක්ෂිප්‍රාභිඥ පුද්ගලයාට වනාහි භවාඞ්ගචලන-භවාඞ්ගුපච්ඡේදයන්ගෙන් පසු භාවනාරම්මණය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනය හා උපචාර - අනුලෝම - ගෝත්‍ර‍භූ කියා කාමාවචර ජවනයක් තුන් වරක් ඇති වීමෙන් පසු ප්‍ර‍ථම ධ්‍යාන චිත්තය එක් වරක් ඇති වී භවාඞ්ග වන්නේ ය. මේ ක්ෂිප්‍රාභිඥ පුද්ගලයාගේ ප්‍ර‍ථම ධ්‍යාන ආදිකර්මික වීථිය ය.

ප්‍ර‍ථම ධ්‍යාන සමාපජ්ජන වීථි.

මෙසේ ප්‍ර‍ථම ධ්‍යානය ලැබූ යෝගාවචරයා ධ්‍යානයට සමවදිනු කැමැති විටක නැවතත් ඒ භාවනාවෙහි යෙදුණු කල්හි භවාඞ්ගචලන - භවාඞ්ගුපච්ඡේද - මනෝද්වාරාවජ්ජන - පරිකර්ම - උපචාර - අනුලෝම - ගෝත්‍ර‍භූ යන සිත් පිළිවෙළින් ඉපද නිරුද්ධ වූ පසු ප්‍ර‍ථම ධ්‍යාන ජවන චිත්තය වාර බොහෝ ගණනක් ඇති වීමෙන් පසු භවාඞ්ග වේ. මේ දන්ධාභිඥ පුද්ගලයාගේ ප්‍ර‍ථම ධ්‍යාන සමාපජ්ජන වීථිය ය. මේ වීථිය ක්ෂිප්‍රාභිඥ පුද්ගලයාට ඇති වන කල්හි “පරිකර්ම චිත්තය” ඇති නො වේ. උපචාර - අනුලෝම - ගෝත්‍ර‍භූ කියා කාමාවචර ජවනය තුන් වරක් පමණක් ඇති වේ. වෙනස එපමණ ය.

දන්ධාභිඥයාගේ ප්‍ර‍ථම ධ්‍යාන ආදිකර්මික වීථිය.

භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේද, මනෝද්වාරාවජ්ජන, පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර‍භූ, ප්‍ර‍ථමධ්‍යානය, භවාඞ්ග.

ක්ෂිප්‍රාභිඥයාගේ ආදිකර්මික වීථිය.

භවාඞ්ගචලන, භවාඞ්ගුපච්ඡේද, මනෝද්වාරාවජ්ජන, උපචාර, අනුලෝම, ගෝත්‍ර‍භූ, ප්‍ර‍ථමධ්‍යානය, භවාඞ්ග.

සමාපජ්ජන වීථි දෙකේ වෙනස ධ්‍යාන චිත්තය වාර බොහෝ ගණනක් ඇති වීම පමණෙකි. ද්විතීය ධ්‍යාන වීථි ආදියේත් සිත් පිළිවෙළ මෙසේ ම ය. වෙනස ඒ ඒ වීථියේ ඒ ඒ ධ්‍යාන චිත්තය ඇති වීම පමණෙකි.

මේ වීථිවල ඇති වන කාමාවචර ජවනයන්ගෙන් පළමු වන සිතට පරිකර්ම යන නාමය දී තිබෙන්නේ ඉන්ද්‍රිය සමතාදි කරුණුවලින් ඒ සිත අර්පණා චිත්තය ඇති වීමට විශේෂයේ උපකාර වීම් වශයෙන් අර්පණාව ඇති කරන්නාක් මෙන් පවත්නා බැවිනි. දෙවන සිතට උපචාර යන නම දී ඇත්තේ, සමීප කාලයේ දී අර්පණා චිත්තය ඇති වීමට උපකාර වීම් වශයෙන් අර්පනාවට ළංව සිටින බැවිනි. උපචාර යන වචනයේ තේරුම සමීපයේ හැසිරෙන සිතය යනුයි. තුන්වන සිතට අනුලෝම යන නම දී ඇත්තේ අර්පණා චිත්තය ඇති වීමට බාධක කාමච්ඡන්දාදීන් දුරු කිරීම් වශයෙන් අර්පණාවට අනුකූල ව පවත්නා බැවිනි. සතර වන සිතට ගෝත්‍ර‍භූ යන නම දී ඇත්තේ, කාමාවචර භාවය ඉක්මවන බැවින් ඒ සිත ළඟට අර්පණා චිත්තයක් මිස කාමාවචර චිත්තයක් ඇති නො වන හෙයිනි.

ප්‍ර‍ත්‍යවේක්ෂා වීථි

ධ්‍යාන ලැබීමෙන් පසුත්, ධ්‍යාන සමාපත්තියෙන් නැගිටීමෙන් පසුත් ධ්‍යානලාභීහු තමන් ලැබූ, සමවැදුණු ධ්‍යානයෙහි ඇති ධ්‍යානාඞ්ගයන් ප්‍ර‍ත්‍යවේක්ෂා කෙරෙති. එය කරන්නේ ආවර්ජන වශීභාවය හා ප්‍ර‍ත්‍යවේක්ෂා වශීභාවය ඇති කරගනු පිණිස ය. ඒ ඒ ධ්‍යානයන්හි ඇති ධ්‍යානාඞ්ග ගණනට ප්‍ර‍ත්‍යවේක්ෂා වීථි ඇති වේ. ප්‍ර‍ථම ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග පසක් ඇති බැවින් “විතර්කය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන වීථිය ය, විචාරය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන වීථිය ය, ප්‍රීතිය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන වීථිය ය, සුඛය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන වීථිය ය, ඒකාග්‍ර‍තාව ප්‍ර‍ත්‍යවේක්ෂා කරන වීථිය” යි වීථි පසක් ඇති වේ. ප්‍ර‍ත්‍යවේක්ෂා වීථිවල ඇති වන්නේ කාමාවචර ජවනයන් පමණෙකි. ප්‍ර‍ත්‍යවේක්ෂා වීථිය භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරු ව ධ්‍යානාඞ්ගය අරමුණු කරන මනෝද්වාරාවජ්ජන චිත්තය ද, යම් කිසි කාමාවචර ජවනයක් සත්වරක් ද ඇති වීමෙන් පසු භවාඞ්ග වේ.

වශීභාවය ඇතියවුන්ට ප්‍රාතිහාර්‍ය්‍ය කිරීම් ආදිය සඳහා ඉක්මනින් ධ්‍යානාඞ්ග මෙනෙහි කරන අවස්ථාවන්හි කාමාවචර ජවන පසකින් හෝ සතරකින් ද වීථිය කෙළවර වේ.

16. මාර්ග වීථි හා ඵලසමාපත්ති වීථි

19 වන පාඩම

සෝවාන් මාර්ග වීථිය, සකෘදාගාමි මාර්ග වීථිය, අනාගාමි මාර්ගවීථිය, අර්හත් මාර්ග වීථිය කියා මාර්ග වීථි සතරෙකි. “ප්‍ර‍ථම ධ්‍යාන ශ්‍රෝතාපත්ති මාර්ගය” යනාදීන් ධ්‍යාන ක්‍ර‍මයෙන් ශ්‍රෝතාපත්ති මාර්ග සිත් පසක් පසක් වන බැවින් ශ්‍රෝතාපත්ති මාර්ග වීථි පසක් වේ. ඉතිරි මාර්ග වීථි ද එසේ ම පස බැගින් වන හෙයින් මාර්ග වීථි විස්සක් වේ. ඒ එක් එක් වීථියක් මන්දප්‍රාඥ-තීක්ෂණ ප්‍රාඥයන්ගේ වශයෙන් දෙවැදෑරුම් වීමෙන් මාර්ග වීථි සතළිසක් වේ.

ප්‍ර‍ථම ධ්‍යාන ශ්‍රෝතාත්පත්ති මාර්ග වීථිය මෙසේ ය:- සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරන්නා වූ යෝගාවචරයා හට ලෝකෝත්තර මාර්ගය ඇති වීමට ළං වූ කල්හි, භවාඞ්ගචලන භවාඞ්ගුපච්ඡේදයන්ට අනතුරු ව යම් කිසි සංස්කාරයක් අරමුණු කොට මනෝද්වාරාවර්ජන චිත්තය ඉපද නිරුද්ධ වේ. එයට අනුතරු ව ඒ සංස්කාරය ම අනිත්‍ය වශයෙන් හෝ දුඃඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ විදර්ශනා කිරීම් වශයෙන් ඥානසම්ප්‍ර‍යුක්ත කාමාවචර කුශල චිත්තයක්, පරිකර්මය - උපචාරය - අනුලෝමය යන නම්වලින් ඉපද නිරුද්ධ වේ. අනතුරු ව ඒ කාමාවචර කුශල ජවනය ම නිර්වාණය අරමුණු කරමින් ගෝත්‍ර‍භූ යන නාමයෙන් ඉපද නිරුද්ධ වේ. එයට අනතුරු ව නිවන ප්‍ර‍ත්‍යක්ෂ කෙරෙමින් සෝවාන් මාර්ග චිත්තය එක් වරක් ද සෝවාන් ඵලචිත්තය දෙවරක් ද ඉපදීමෙන් පසු භවාඞ්ග වේ. මේ මන්දප්‍රාඥයාගේ සෝවාන් මාර්ග වීථිය ය.

තීක්ෂ්ණප්‍ර‍ඥයා හට පරිකර්ම චිත්තය ඇති නො වේ. ඔහුට උපචාර - අනුලෝම - ගෝත්‍ර‍භූ නාමයෙන් කාමාවචර ජවනය තුන් වරක් ඇති වීමෙන් පසු මාර්ග චිත්තය එක් වරක් ද ඵල චිත්තය තුන් වරක් ද ඇති වී භවාඞ්ග වේ.

මන්දප්‍රාඥයාගේ සෝවාන් මාර්ග වීථිය.

න - ද - ම - ප - උ - අ - ගෝ - මා - ඵ - ඵ - භ.

තීක්ෂ්ණප්‍රාඥයාගේ සෝවාන් මාර්ග වීථිය.

න - ද - ම - උ - අ - ගෝ - මා - ඵ - ඵ - ඵ - භ.

සකෘදාගාමි - අනාගාමි - අර්හත් මාර්ග වීථි ද මෙසේ ම ය. වෙනස ඒවායේ ගෝත්‍ර‍භූ චිත්තයක් නැති බව පමණෙකි. ඒ වීථිවල ගෝත්‍ර‍භූ චිත්තයේ තැනට ඇති වන සිතට වෝදාන යන නම කියනු ලැබේ. එහි තේරුම මාර්ගචිත්තය ඇති වීමට බාධක ක්ලේශයන් දුරු කොට පිරිසිදු කරන සිත ය යනු යි.

මන්ද ප්‍රාඥයාගේ සකෘදාගාමි මාර්ග වීථිය.

න - ද - ම - ප - උ - අ - වෝ - මා - ඵ - ඵ - භ.

තීක්ෂ්ණප්‍රාඥයාගේ වීථිය.

න - ද - ම - උ - අ - වෝ - මා - ඵ - ඵ - ඵ - භ.

ඉතිරි වීථි ද මේ ක්‍ර‍මයෙන් දත යුතු ය.

ප්‍ර‍ත්‍යවේක්ෂා වීථි.

මාර්ග වීථිවලින් පසු මාර්ගය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද, ඵලය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද, නිර්වාණය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද, ප්‍ර‍හීණ ක්ලේශ ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද, අප්‍ර‍හීණ ක්ලේශ ප්‍ර‍ත්‍යවේක්ෂා කරන්නා වූ ද වීථිහු ඇති වෙති. රහතුන්ට අප්‍ර‍හීණ ක්ලේශයන් ප්‍ර‍ත්‍යවේක්ෂා කරන වීථියක් නො ලැබේ. භවාඞ්ග චලනය - භවාඞ්තෝපච්ඡේදය මනෝද්වාරාවජ්ජනය - ප්‍ර‍ත්‍යවේක්ෂා ජවන සත ය යන මේ සිත් පරම්පරාව ප්‍ර‍ත්‍යවේක්ෂා වීථිය ය. මාර්ගාදි එක් එක් දෙයක් ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම් වශයෙන් එක් එක් ප්‍ර‍ත්‍යවේක්ෂා වීථියක් ඇති වේ.

ඵල සමාපත්ති වීථි

ඵල සමාපත්ති වීථි ද මාර්ග වීථි මෙන් ම සතළිසක් වන්නේ ය. තමා ලත් ඵලයට සමවදිනු කැමති සෝවාන් පුද්ගලයා ඵලයට සමවැදීමේ බලාපොරොත්තුවෙන් සංස්කාරයන් විදර්ශනා කරන කල්හි භවාඞ්ග චලන - භවාඞ්ගෝපච්ඡේදයන්ගෙන් පසු සංස්කාරයන් අරමුණු කොට, මනෝද්වාරාවජ්ජන චිත්තය ඉපද නිරුද්ධ වේ. අනතුරු ව ඒ සංස්කාරයන් ම අරමුණු කොට ඥාන සම්ප්‍ර‍යුක්ත කාමාවචර කුශල චිත්තයක් අනුලෝම ජවන භාවයෙන් යෝගාවචරයා මන්දප්‍රාඥයකු නම් සතර වරක් ද, තීක්ෂ්ණ ප්‍රාඥයකු නම් තුන් වරක් ද ඉපදීමෙන් පසු සෝතාපත්ති ඵල ජවනය වාර බොහෝ ගණනක් ඉපදීමෙන් පසු භවාඞ්ග වේ. මේ සෝතාපත්ති ඵල සමාපත්ති වීථිය ය. ඵල සමාපත්ති වීථිවල උපදනා ඵල සිත්වල සඞ්ඛ්‍යා නියමයක් නැත්තේ ය. එක් වීථියක උපදනා ඵල සිත් සිය ගණනක් ද විය හැකි ය. දහස් ගණනක් - ලක්ෂ ගණනක් - කෝටි ගණනක් ද විය හැකි ය. ඵල සිත් කොතෙක් උපනත් වීථිය එක ම ය. ඉතිරි ඵල සමාපත්ති වීථි ද මේ සෝතාපත්ති ඵල සමාපත්ති වීථිය අනුව තේරුම් ගත යුතු ය.

මන්දප්‍රාඥයා ගේ ඵලසමාපත්ති වීථිය

න - ද - ම - අ - අ - අ - අ - ඵලසිත් - භ

තීක්ෂ්ණප්‍රාඥයා ගේ වීථිය

න - ද - ම - අ - අ - අ - ඵලසිත් - භ

17. අභිඥා වීථි

20 වන පාඩම

දිබ්බචක්ඛු, දිබ්බසෝත, ඉද්ධිවිධ, පරචිත්තවිජානන, පුබ්බේනිවාසානුස්සති, යථාකම්මූපග, අනාගතංස කියා අභිඥා සතක් ඇත්තේ ය. අභිඥා පසක් කියන තැන්වල එසේ කියා ඇත්තේ, යථාකම්මූපග - අනාගතංස අභිඤ්ඤා දෙක දිබ්බචක්ඛු අභිඤ්ඤාවට ම ඇතුළත් කිරීමෙනි. අභිඤ්ඤා වීථියකට පූර්වයෙහි පාදක පඤ්චම ධ්‍යාන සමාපත්ති වීථියක් ද, අධිෂ්ඨාන වීථියක් ද, නැවත පාදකධ්‍යාන සමාපත්ති වීථියක් ද ඇත්තේ ය. අභිඤ්ඤා බලය ඇති කර ගැනීම සඳහා පළමුවෙන් ධ්‍යානය සමවැදිය යුතු ය. අභිඤ්ඤාවට අත්තිවාරම වන බැවින් එයට පාදක ධ්‍යානය යි කියනු ලැබේ.

දිබ්බචක්ඛු අභිඤ්ඤාවෙන් යම් කිසි දුර ඇති දෙයක් දකිනු කැමති අෂ්ටසමාපත්තිලාභියා තේජෝ කසිණ - ඕදාත කසිණ - ආලෝක කසිණයන් අතුරෙන් යම් කිසි කසිණයෙක්හි පඤ්චම ධ්‍යානයට සමවැදෙන්නේ ය. ඉන් පසු එයින් නැඟිට අසවල් දේ පෙනේවා යි ඉටන්නේ ය. ඉටීම් වශයෙන් ඇති වන්නේ කාමජවන වීථියකි. ඉටා නැවතත් පාදක පඤ්චමධ්‍යානයට සමවැදෙන්නේ ය. එයින් නැඟිටීමෙන් පසු ඉටූ රූපය දක්නා අභිඥා වීථිය ඇති වේ. ඒ මෙසේ ය:- පාදකධ්‍යානයෙන් නැඟී සිටියා වූ යෝගාවචරයා හට භවාඞ්ගචලන - භවාඞ්ගෝපච්ඡේදයන්ට අනතුරු ව ඉටූ රූපය අරමුණු කොට මනෝද්වාරාවජ්ජන චිත්තය හා පරිකර්‍ම - උපචාර - අනුලෝම - ගෝත්‍ර‍භූ නාමයෙන් කාමාවචර ජවනයක් සතර වරක් ද ඇති වීමෙන් පසු දුර ඇති රූපය ඇසින් දක්නාක් මෙන් දක්නා අභිඥා චිත්තය එක් වරක් ඉපද නිරුද්ධ වන්නේ ය. ඉන් පසු භවාඞ්ග වේ. මේ දිබ්බචක්ඛු අභිඤ්ඤා වීථිය යි.

මන්දප්‍රාඥයා ගේ දිබ්බචක්ඛු අභිඤ්ඤා වීථිය.

න - ද - ම - ප - උ - අ - ගෝ - අභිඤ්ඤා - භ

තීක්ෂ්ණප්‍රාඥයාගේ වීථිය

න - ද - ම - උ - අ - ගෝ - අභිඤ්ඤා - භ.

දිබ්බචක්ඛු ආදි අභිඤ්ඤාවන්ට පාදක කර ගැනීමට ආලෝක කසිණය වඩා යහපත් බව කියා තිබේ. ඉද්ධිවිධ අභිඤ්ඤාවට පාදක කර ගන්නේ පඨවි කසිණය අරමුණු කරන පඤ්චම ධ්‍යානය යි.

නිරෝධ සමාපත්ති වීථිය

අෂ්ට සමාපත්ති විෂයයෙහි වශී භාවය ඇති කර ගෙන ඉන්නා වූ අනාගාමී වූ හෝ රහත් වූ හෝ පුද්ගලයා නිරෝධ සමාපත්තියට සමවදිනු කැමති කල්හි ප්‍ර‍ථමධ්‍යානයේ පටන් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය දක්වා ඇති ධ්‍යානයන්ට පිළිවෙළින් සමවදිමින් ඒවායේ සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරන්නේ ය. ඉක්බිති නිරෝධ සමාපත්තියේ පූර්ව කෘත්‍යයන් කොට නිම වූ කල්හි භවාඞ්ගචලන භවාඞ්ගෝපච්ඡේදයන් ගෙන් පසු මනෝද්වාරාවජ්ජන චිත්තය ද පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර‍භූ නාමයෙන් කාමාවචර ජවනයක් සතර වරක් හෝ තුන් වරක් හෝ ඇති වීමෙන් පසු නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන චිත්තය ද දෙවරක් ඇති වී, චිත්ත සන්තතිය සිඳෙන්නේ ය.

යෝගාවචරයා බලාපොරොත්තු වූ කාලය මුළුල්ලෙහි සිත් හා චිත්තජ රූප ද නැති ව ඉතිරි රූප පමණක් පැවතී, බලාපොරොත්තු කාලය ඉක්මෙනු සමඟ ම ආවර්ජනයක් නැති ව ම සමවන් පුද්ගලයා අනාගාමියකු නම්, අනාගාමි ඵල චිත්තය ද: අර්හත් පුද්ගලයකු නම්, අර්හත් ඵල චිත්තය ද එක් වරක් උපදින්නේ ය. ඉන් පසු භවාඞ්ග වන්නේ ය. මේ නිරෝධ සමාපත්ති වීථිය ය.

18. නිරෝධ සමාපත්ති වීථිය.

න - ද - ම - ප - උ - අ - ගෝ - ධ්‍යා - ධ්‍යා - අචිත්තක කාලය - ඵ - භ.

තීක්ෂණ ප්‍රාඥයාට මේ වීථිය පරිකර්ම ජවනය නැති ව ඇති වන්නේ ය.

නිරෝධ සමාපත්තියට සමවදින පුද්ගලයා නේවසඤ්ඤා-නාසඤ්ඤායතන ධ්‍යානයට සමවදිනා කල්හි, අනික් සමාපත්ති වීථිවල දී මෙන් ධ්‍යාන චිත්තය භවාඞ්ග චිත්තය මෙන් දිගට ම ඇති නො වී, දෙරක් පමණක් ඇති වී සිඳී යන්නේ, සිත් ඉපදීම වැළැක්වීම සඳහා කළ පරිකර්මයේ බලයෙනි. ප්‍ර‍ථම ධ්‍යානයෙහි පටන් පිළිවෙළින් ධ්‍යානයන්ට සමවැදීම හා ඒවායේ සංස්කාරයන් විදර්ශනා කිරීමත් සිත් ඉපදීම නැවැත්වීමේ පරිකර්මය ය.

අෂ්ට සමාපත්තිලාභීන් වුව ද පෘථග්ජනයන්ට හා සෝවාන් සකෘදාගාමි පුද්ගලයන්ට නිරෝධ සමාපත්තියට සමවැදිය නොහැක්කේ, ඔවුනට සමාධියට බාධක කාමරාගය අප්‍ර‍හීණ බැවිනි. නිරෝධ සමාපත්තියට සම වැදීම ඇත්තේ කාම ලෝක - රූපලෝක දෙක්හි පමණකි. අරූප ලෝකයෙහි එය නැත. රූපාවචර සමාපත්තීන් එහි නැති බව අරූප ලෝකයේ නිරෝධ සමාපත්තිය නැතිවීමේ හේතුව ය.

මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිර පාදයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය‍ මෙතෙකින් නිමියේ ය.

චිරං තිට්ඨතු සද්ධම්මෝ.