විස්තරාර්ථ සන්න සහිත

විශුද්ධිමාර්‍ගය

 

අතර්‍ථකථාචාර්‍ය්‍ය ශ්‍රීමත් බුද්ධඝෝෂ මහා ස්ථවිර ප්‍ර‍ණීත


පටුන වෙත

 

 

විස්තරාර්ථ සන්න සහිත

විශුද්ධිමාර්‍ගය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2547

2004

 

 

 

 

 

 

 

 

චිරං තිට්ඨතු සද්ධම්මො

සබ්බෙසත්තා භවන්තු සුඛිතත්තා

 


 

 

 

 

 

 

 

 

 

විස්තරාර්ථ සන්න සහිත

විශුද්ධිමාර්‍ගය

 

අතර්‍ථකථාචාර්‍ය්‍ය ශ්‍රීමත් බුද්ධඝෝෂ මහා ස්ථවිර ප්‍ර‍ණීත

විශුද්ධි මාර්‍ගය

 


ප්ස්තාවනා

 

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.

 

ශ්‍රීමත් සර්වඥාශාසනයෙහි අතිශයින් දුර්‍ලභ වූ පැවිද්ද ලත් කුලපුත්‍ර‍යනට ක්‍ෂේම වූ නිර්‍වාණ ප්‍ර‍තිලාභයට සෘජු වූ ආර්‍ය්‍ය මාර්‍ග සංඛ්‍යාත ප්‍ර‍තිපත්තිය ඉවහල් වන බැවින් ප්‍ර‍තිපත්තිය ශීල-සමාධි-ප්‍ර‍ඥා මුඛයෙන් ප්‍ර‍කාශනය කරනු පිණිස ඒ මේ විශුද්ධිමාර්‍ගය සම්පාදනය කරන ලද්දේ වෙයි. එහි සංඥාද්‍යාර්‍ථ පඤ්චකය ප්‍ර‍මුඛ කොට ඇති මේ ප්‍ර‍ස්තාවනාව ශාසනමාමකයන් ගේ විශුද්ධිමාර්‍ගාවතරණයෙහි ප්‍ර‍යත්න දනවනු පිණිස අනේක ග්‍ර‍න්‍ථාශ්‍ර‍යයෙන් ද, ඉතිහාසය ප්‍ර‍වෘත්ති සංකලනයෙන් ද, ආචාර්‍යමතානු සාරයෙන් ද කරුණු සම්පින්ඩණය කොට ගෙන විවේචන පූර්‍වක වැ සපයනු ලැබේ.

 

“විසුද්‍ධිති සබ්බමලවිරහිතං අච්චන්නපරිසුද්ධා නිබ්බානං වෙදිතබ්බං තස්සා විසුද්ධියා මග්ගොති=විසුද්ධිමග්ගො”[1] යනු ග්‍ර‍න්ථාගත වූ අභිධෙයාර්‍ථ හෙයින් විශුද්ධි සංඛ්‍යාත සංඥා සර්වමලවිරහිත අත්‍යන්තපරිශුද්ධ වූ නිර්‍වාණයට මාර්‍ගය විශුද්‍ධිමග්ග නම් වේ. ඒ මේ විශුද්‍ධිමාර්‍ගය සර්‍වප්‍ර‍කාරයෙන් ප්‍ර‍කාශනය කරන මේ ග්‍ර‍න්‍ථය ද අභෙදොපරචාරයෙන් විසුද්‍ධිමග්ග නම් වන බව දත යුතු “විසුද්‍ධියා මග්ගො = විසුද්‍ධිමග්ගො” යන විග්‍ර‍හය පූර්‍වොක්ත ග්‍ර‍න්‍ථාගත අභිර්‍ධෙයාර්‍ථයෙන් ම සිද්ධ ය. මෙහි විසුද්ධි නම් නිර්‍වාණය යි. මග්ග නම් අධිගමෝපාය යි. “මෙග්ගාති අධිගමූපායො වුච්චති” යනු කී බැවින් අධිගම ලාභයට උපාය මග්ග නම් වන බව දතයුතු. “නිවනට මග විසුද්‍ධිමග්ග නම් වේ” යනු මෙහි නිෂ්කර්‍ෂය යි.

 

“විදශුද්‍ධිමාර්‍ගය යි නිෂ්පර්‍ය්‍යායයෙන් ලෝකෝත්තර මාර්‍ගය දතයුතුය. තදුපාය හෙයින් වනාහි පූර්‍වභාග මාර්‍ගය ද තන්නිශ්‍ර‍ය කථා ප්‍ර‍බන්‍ධය ද විශුද්ධිමාර්‍ගය යි කියනු ලැබේ.”[2] යන මේ පරාක්‍ර‍මබාහු නරේන්‍ද්‍ර‍චනයෙන් ද මේ ග්‍ර‍න්‍ථයට විසුද්ධි මග්ග නාමය දීමෙහි සමීචීනත්‍වය ව්‍යක්ත වේ මැයි. ඒ මේ විශුද්ධි මාර්‍ගය වනාහි කිසිතැනෙක්හි විදර්‍ශනාමාත්‍ර‍ වශයෙන් ද, කිසි තැනෙක්හි ධ්‍යාන - ප්‍ර‍ඥා වශයෙන් ද, කිසි තැනෙක්හි කර්‍මාදීන් ගේ වශයෙන් ද, කිසිතැනෙක්හි ශීලාදීන් ගේ වශයෙන් ද, කිසිතැනෙක්හි ස්මෘතිප්‍ර‍ස්ථානාදීන් ගේ වශයෙන් ද දෙසූහ. මේ ග්‍ර‍න්‍ථයට වස්තු වූ “සීලෙපතිට්ඨාය” යනාදී ගාථාවෙන් ශීල-සමාධි ප්‍ර‍ඥා මුඛයෙන් මෙහි විශුද්‍ධිමාර්‍ගය දක්වන ලද්දේ වෙයි. එහෙයින් මේ ග්‍ර‍න්‍ථය දුශ්චරිත සංක්ලේශයා ගේ විශුද්‍ධියට මාර්‍ගය වූ ශීලය ද තෘෂ්ණාසංක්ලේශයා ගේ විශුද්ධියට මාර්‍ගය වූ සමාධිය ද, දෘෂ්ටි සංක්ලේශයා ගේ විශුද්‍ධියට මාර්‍ගය වූ ප්‍ර‍ඥාව ද සර්‍වඥ දෙශනානුසාරයෙන් ප්‍ර‍කාශිත වන බැවින් විසුද්‍ධිමග්ග නම් වූ බව දත මැනැවි. සංව්‍යවහාරාර්‍ථය පිණිස සංඥාකථනය වක්තව්‍ය හෙයින් මෙහි “විසුද්‍ධිමග්ගං භාසිස්සං” යන්නෙන් ග්‍ර‍න්‍ථකාරකයෝ ම සංඥාව කැලම දක්වති. විශුද්‍ධිමාර්‍ගය ග්‍ර‍න්‍ථස්වරූපයෙන් පවසන බව දත යුතු ය. අර්ථානුගතසංඥා හෙයින් අන්‍වර්‍ථසංඥා විසින් ද මෙයින් විදර්‍ශනා මාත්‍ර‍ය ද, ධ්‍යාන ප්‍ර‍ඥාවන් ද, කර්‍මාදිය ද, ශීලාදිය ද, ස්මෘතිප්‍ර‍ස්ථානාදිය ද අවිශේෂයෙන් පවසතත් ශීල සමාධි-ප්‍ර‍ඥා මුඛයෙන් මේ ග්‍ර‍න්‍ථයම විශුද්‍ධිමග්ග නාමයෙන් වක්තව්‍ය හෙයින් විශේෂ සංඥාවිසින් ද මෙහි සංඥාර්‍ථය දත යුතුය. සමුදය විසින් නිවනට මග විශුද්‍ධිමාර්‍ගයැයි කිව ද මෙහි ශීලයන් සමාධියත් ප්‍ර‍ඥාවත් අවයව විසින් විශුද්‍ධියට කරුණු වන්නෙන් අවයවයක් පාසා විශුද්‍ධිය ර්‍ප්‍යාය විසින් ලැබෙයි. එහෙයින් මේ විශුද්ධිමග්ග යන නාමය අවයවාර්‍ථයෙන් නො ගිලිහුණු ගුණයට නිමිතිවන්නෙන් නෛමිත්තක වෙයි. “විශුද්‍ධිමාර්‍ගය යනු අවයවාතර්‍ථච්‍යුත ගුණ නිමිත්තක වැ සිද්ධ වන බැවින් නෛමිත්තික නාම වෙයි.”[3] යන පරාක්‍ර‍මබාහු නරපති වචනයෙන් ද තදර්‍ථප්‍ර‍කාශනය වෙයි.

 

මේ ග්‍ර‍න්‍ථකරණයෙහි නිමිත්ත වනාහි අන්තර්නිමිත්ත යැ, වාහ්‍ය නිමිත්තයැ යි දෙපරිද්දෙකින් දැක්විය හැකිය. මෙහි අන්ත්නිමිත්තය නම් විශුද්‍ධිය කැමැති කුලපුත්‍ර‍යන් නිමිත්ත කරෙහි උපන් අනුකම්පාවයි. හේ වනාහි ග්‍ර‍න්‍ථකාරයන් විසින් ම “විසුද්‍ධිකාමා සබ්බෙපි නිසාමයථ සාධවො” යන්නෙන් දක්වන ලද්දේ වෙයි. සත්පුරුෂ කුලපුත්‍ර‍යන් කෙරෙහි පහළ වූ ග්‍ර‍න්‍ථකාරකයන්ගේ කරුණාව මෙයින් හෙළිවන බැවිනි. සත්කෘත්‍යශ්‍ර‍වණයෙහි ඔවුන් යෙදවීමෙන් තමන් ළෙහි උපන් කුලුණුගුණය මෙයින් ඇරෑ දැක්වු බව දතයුතු ය.

 

“ප්‍ර‍තිපන්ත යොගී ජනයන් අඥාන දුර්ඥාන මූලක අප්‍ර‍තිපත්ති දුෂ්ප්‍ර‍තිපත්ති හේතුක සංසාර දුඃඛයෛන් මුදනු සඳහා මේ විශුද්‍ධිමාර්‍ගය කළ බැවින් යථොක්ත ප්‍ර‍තිපද්ජනයන් කෙරෙහි සමුත්පන්ත අනුකම්පාව අන්තර් නිමිත්ත යැ[4] යන මේ පරාක්‍ර‍මබාහුභූපතිවචනයෙන් හේ පැහැදිලි වෙයි. අන්තර්නිමිත්තය දැක්වුව ද වාහ්‍ය නිමිත්තය දෙපරිද්දෙකින් දක්වන ලද බව පැනෙයි.

 

විභජ්ජවාදිසෙට්ඨානං - ථෙරියානං යස්සසීනං

මහාවිහාරවාසීනං - වංසජස්ස විහාවිනො

හදහන සඞ්ඝපාලස්ස - සුචිසල්ලෙබවුත්තිනො

විනයාචාරයුත්තස්ස - යුත්තස්සපටිපත්තියං

ඛන්තිසොරච්චමෙත්තාදී - ගුණභුසිත චෙතසො

අජ්ඣෙසනංගහෙත්‍වාන - කරොන්තෙන ඉමං මයා”[5]

 

යන මේ ග්‍ර‍න්‍ථකාරයන් ගේ සුගීතයෙන් මහාවිහාර වංශයෙහි උපන් පැණවත් වූ පිවිතුරු සලේ පැවැතුම් ඇති විනේ අසරෙහි යෙදුණු පිළිවෙත්හි ඇලුණු කැත්සුරත බැව් ඈ ගුණ මුළුවෙන් සැරසුණු සිත් ඇති භදන්ත සඞ්ඝපාල මහාස්වාමීන් ගේ ආරාධනය මේ ග්‍ර‍න්‍ථකරණයට වාහ්‍යනිමිත්තය බව හෙළි වෙයි. “මේ විශුද්‍ධිමාර්‍ගකරණයෙහි බඬාදර පරම විශුඬාශය සඞ්ඝපාල ස්ථවිරපාදයෝ බාහ්‍ය නිමිත්ත වෙත්.”[6] යන්නෙන් පරාක්‍ර‍මබාහු නරදේවයෝ ආරාධකයා වාහ්‍යනිමිත්ත විසින් දක්වති. ආරාධකයා කීමෙන් ආරාධනය ද ගැනෙන බැවින් හේ අසංඝත නොවේ. මේ එක් වාහ්‍යනිමිත්තය යි අනෙක් වාහ්‍ය නිමිත්තය ප්‍ර‍තිපද්ජනයා යි.

 

“සුදුල්ලභං ලභිත්‍වාන - පබ්බජ්ජං ජිනසාසනෙ

සීලාදිසඞ්ගගං ඛෙමං - උජුමග්ගං විසුද්‍ධියා

යථාභුතං අජානන්තා - සුද්‍ධිකාමාපි යෙ ඉධ

විසුද්‍ධිං නාධිගච්ඡන්ති - වායමන්තාපි යොගිනො”[7]

 

යන මේ ග්‍ර‍න්‍ථකාරකයන් ගේ සදුක්තියෙන් එව්හු දැක්වෙති. සර්‍වඥ ශාසනයෙහි අතිශයින් දුර්‍ලභ වූ පැවිද්ද ලැබ විශුද්‍ධියට සෘජුමාර්‍ගය වූ ශීලාදිසංග්‍ර‍හය තතු සේ නො දන්නා වූ ශුද්‍ධිකාමීන් වැර වඩතුදු විශුද්‍ධිය නොලබන බව මෙයින් පවසති. ඔවුන්ගේ තත්ත්‍වඥානයට විශුද්‍ධිමාර්‍ගය කරන බව පැවසීමෙන් ග්‍ර‍න්‍ථකාරකයෝ ප්‍ර‍තිපද්යෝගීජනයා ද වාහ්‍යනිමිත්ත කොට දක්වති. මෙසේ මෙහි නිමිත්තාර්‍ථය දත යුතු. ග්‍ර‍න්‍ථ සම්භාවනා පිණිස නිමිත්තකථනය සාධුසම්මත ය. එහෙයින් තමන් කරන ගතට නිමිති දක්වමින් ග්‍ර‍න්‍ථාකාරකයෝ ස්වාධ්‍යාංශය පිළිබඳ නිර්‍මලත්වය මැනැවින් හෙළිපෙහෙළි කරත්.

 

මෙහි කර්‍තෘවරයෝ අනුබුද්ධ බුද්‍ධඝෝෂ මහාස්වාමීහු වෙති. ලඞ්කාධීශ්වර පරාක්‍ර‍මබාහූන් විසින් “බුද්ධඝොෂාචාර්‍යපාදයෝ මේ විශුද්‍ධිමාර්‍ගයට කර්‍තෘත්‍වයෙන් වෙදිතව්‍යයෝ යි” යනුවෙන් කර්‍තෘ ස්වකීය විශුද්‍ධිමාර්‍ගය මහා සන්‍යයෙහි දක්වන ලද බැවින් ද, “විපුල විසුද්ධබුද්‍ධිනා බුදධඝොසොති ගරූහිගහිත නාමධෙය්‍යෙන ථෙරනෙ මොරණ්ඩචෙටකවත්‍ථබ්බෙන කතො විසුද්‍ධිමග්ගො නාම” යි විශුද්ධිමාර්‍ග ග්‍ර‍න්‍ථාවසානයෙහි සඳහන් වන බැවින් ද මේ ගැන සැකයෙක් නැති. බුද්‍ධඝෝෂාචාර්‍යපාදයන් මේ විශුද්ධි මාර්‍ගය සම්පාදනය කළ බව පරම්පරායාත වාර්‍තාවලින් ද හෙළිවෙයි. එක් පරම්පරායාත වාර්‍තාවක් දක්වන පරාක්‍ර‍මබාහු නාරෙශ්වරයෝ මෙසේ සඳහන් කෙරෙති.

 

මේ ආචාර්‍යයෝ ජම්බුද්‍විපවාස්තව්‍ය මහා ස්ථවිරවරයන් විසින් සමාරාධිත වැ හෙළු අටුවා පෙරළා සර්‍වජනීන මූලභාෂායෙන් තෙවළාවට අටුවා ලියනු සඳහා මේ ලඞ්කාද්‍වීපයට වැඩ මහා විහාරයෙහි සඞ්ඝපාල මහාස්ථවිරයන් කෙරෙහි හෙළු අටුවා අසා සියලු ස්ථවිරවාද ඉගෙන මහා සඞ්ඝයා රැස් කොට අටුවා ලියන්නට පොත් දෙන්නේ යැයි ඉල්වූහ. සඞ්ඝයා ද අනර්‍ථකථා කරනුවට ශක්ති පරීක්‍ෂා සඳහා තොප ගේ සාමතර්‍ථ්‍යය මිහි දක්වව. ඒ දැක පොත් දෙම්හ යි මේ ගාථා දෙක දුන්හ. එසඳ තදතර්‍ථවර්‍ණනාද්‍වාරයෙන් එහි අටුවා සහිත පිටකත්‍ර‍ය සංග්‍ර‍හ කොට මේ විශුද්ධිමාර්‍ගය කළහ යනු පරම්පරායාත වාර්‍තා යි.”[8]

 

මේ පරම්පරායාත වාර්‍තාව නිසැකයෙන් ම පිළිගත් විශුද්‍ධිමාර්‍ග මහාසන්‍යකාරක පරාක්‍ර‍මබාහු මහීශ්වරයෝ විශුද්‍ධිමාර්‍ගය බුද්‍ධඝෝෂාචාර්‍යපාදයන්ගෙ කෘතියක් බව සමර්‍ථනය කෙරෙති.

 

“සඞඝා ගාථාද්‍වයං තස්සා ‘දාසි සාමත්‍ථයං තව

එත්‍ථ දස්සෙහි තං දිස්වා සබ්බෙ දෙමාති පොත්‍ථකෙ

පිටකත්තයමත්‍ථෙ ච - සද්‍ධිමට්ඨකථාය සො

විසුද්‍ධිමග්ගං නාමා‘කා - සඞ්ගහෙත්‍වා සමාසතො”[9]

 

මේ මහාවංශොක්තියෙන් ද විශුද්‍ධිමාර්‍ගය බුද්ධඝෝෂපාදයන් ගේ කෘතියක් බව හෙළිවෙයි. මෙහි අදහස යට කී පරම්පරායාත වාර්‍තාවෙහි ඇතුළත් වන බැවින් අමුතුවෙන් කියයුතු නො වේ. බුඬඝොසුප්පත්ති නම් ග්‍ර‍න්‍ථයෙහි ද සාසනවංස නම් ග්‍ර‍න්‍ථයෙහි ද, තවත් බොහෝ ග්‍ර‍න්‍ථයන්හි ද බුද්ධාඝොෂාචාර්‍ය්‍යවරයන් විශුද්‍ධිමාර්‍ගය කළ බව සඳහන් වෙයි.

 

“ඉති පන සබ්බං යස්මා - විසුද්‍ධිමග්ගෙ මහා සුපරිසුද්‍ධං

චුත්තං තස්මා භිය්‍යො - න තං ඉධ විචාරයිස්සාමි”[10]

 

යන මේ ආගමාර්‍ථකථාවචනයෙන් ම විශුද්‍ධිමාර්‍ගය බුදුගොස් හිමියන් ගේ බව මැනැවින් හෙළිවන බවින් මෙහි මුලින් දක්වන ලද කරුණු ද සමර්‍ථනය වෙති. මෙතෙකින් ඒ මේ විශුද්‍ධිමාර්‍ග නම් ග්‍ර‍න්‍ථයෙහි කර්‍තෘවරයා විශුද්ධබුද්ධීන් ප්‍ර‍සිද්ධ වූ බුද්ධඝෝෂ මහාස්වමින් බව නිගමනය වෙයි. “නිමිත්ත කර්‍තෘකථාවය ග්‍ර‍න්‍ථ ගෞරවොත්පාදනාත්‍ථ වෙයි. යනු පරාක්‍ර‍මබාහු වචන හෙයින් නිමත්තකථනය මෙන් ම කර්‍තෘකථනය ද ග්‍ර‍න්‍ථ සම්භාවනා පිණිස වැටෙයි. “විසුද්‍ධිමග්ගං හාසිස්සං” යනාදී පිණ්ඩාර්‍ථනිඬරණයෙන් ම මෙහි කර්‍තෘ වාච්‍ය වෙයි.

 

යම් කිසි ග්‍ර‍න්‍ථයෙක්හි පරිමාණකථනය ශිෂ්‍යලෝකයා ගේ ප්‍ර‍වෘත්තියට කාරණ වෙයි. මෙහි පරිමාණය සමුදාය

 

පරිමාන අවයව විසින් ම දැක්විය යුතු වෙයි. සමුදාය පරිමාණ විසින් සලකන විට මෙහි ග්‍ර‍න්‍ථ ප්‍ර‍මාණය බණවර විසින් අටපනසක් (58) බව පැනෙයි. එතද්ග්‍ර‍න්‍ථාවසානයෙහි පැනෙන:-

 

“විසුද්‍ධිමග්ගො එසොව - අන්තරායං විනා ඉධ

නිට්ඨිතො අට්ඨපඤ්ඤාස - භාණවාරාය පාළියා”[11]

 

යන ගාථාවෙන් ඒ බව මැනැවින් හෙළි වෙයි. මෙය පරාක්‍ර‍මබාහු මහීෂයන් විසින් දක්වන ලද්දේ “මෙහි ග්‍ර‍න්ථප්‍ර‍මාණ තුදුස් දහස් දෙබණවරෙකි” යන්නෙනි. ග්‍ර‍න්‍ථප්‍ර‍මාණ තුදුස් දහස් දෙබණ වරෙකැයි කීමත් අටපනස් බණවරෙකැයි කීමත් අර්‍ථ විසින් සමානය. විචිත්‍රාවබෝධය සඳහා කී හෙයින් පරාක්‍ර‍මබාහුවචනය සාධුත්‍වයෙන් පිළිගතයුතු ය. බණවර ගණින විට ග්‍ර‍න්‍ථයකට අකුරු දෙතිසක් ගනු ලබන බැවිනි. ග්‍ර‍න්‍ථාගත ක්‍ර‍මයට විරුද්ධ වැ මෙහි බණවර එකුන්සැටක් (59) බව මනොරථපුරණීනිගමනයෙන් පෙනේ.

 

“එකුනසට්ඨිමත්තො - විසුද්‍ධිමග්ගො පි භාණවාරෙහි

අත්‍ථප්පකාසනත්‍ථාය - ආගමානං කතො යස්මා[12]

 

යන ගාථාවෙන් ඒ බව පැහැදිලි වෙයි. මෙය ද බුදුගොස් හිමියන් විසින් ම කියන ලද බැවින් විචාර්‍ය්‍ය යි. තමන්ගේම කෘති දෙකෙකින් එකම ග්‍ර‍න්‍ථයෙක්හි පරිමාණය දෙපරිද්දෙකින් කීම සැබවින් ම විචාරණ්‍ය කටයුතු වෙයි. මේ ගැන විචාරණය කළ බෙන්තර භදන්ත ශ්‍ර‍ද්‍ධාතිෂ්‍ය මහාස්ථවිරපාදයෝ:-

 

“විශුද්‍ධිමාර්‍ගය බණවර අටපනසකට වැඩි ය. එකුන්සැටට අඩු ය. ඒ වැඩි ටික ගණන් නො ගෙන විශුද්‍ධිමාර්‍ගනිගමනයෙහි අටපණසෙකැ යි ද, වැඩි ටික නිසා චතුරාගම වර්‍ණනාවන්හි ‘එකුනසට්ඨිමත්තො’ යි ‘මත්තා’ ශබ්දයෙන් ටිකක් අඩුබවත් හඟවා එකුන්සැටක් පමණැයි ද ලියන ලදැයි සැලකිය යුතු ය”[13] යනු ස්වකීය ප්‍ර‍ස්තාවනාවෙහි දක්වති. මේ විචාරණය ශාස්ත්‍රීය පක්‍ෂයට බර නො වතුදු ගත් උත්සාහයට පැසසිය යුතු ය. බණවරකට අකුරු අටදහසෙකි. විශුද්‍ධිමාර්‍ගයෙහි සම්පූර්‍ණ අක්‍ෂර සංඛ්‍යාව ගැන එය අටදහසින් බෙදූ විට බණවර ගණන ලැබෙයි. එසේ ගැන බලන විට බණවර එකුන් සැටක් නොලැබෙන බව ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් දත හැකි ය. අටපනසට වැඩි බවත් සැබෑ ය. එකුන් සැටට අඩු බවත් සැබෑ ය. එහෙත් “අප්පකං ඌනමධිකං ගණූපගං න හොති” යන නීතියට ගැළපෙන සේ අටපනසෙකැයි කීම වඩා සුදුසු ය. සැටට අඩුනම් එකුන්සැටෙකැ යි කීම ගැළපෙයි. එහෙත් මෙහි බණවර එකුන් සැටට අඩු බැවින් එකුන්සැටකැයි කීම කිසිසේත් ශාස්ත්‍රීය නො වේ. එක ම ග්‍ර‍න්ථයෙක්හි සමුදාය පරිමාණය මෙසේ දෙ පරිද්දෙකින් කීම ද ශාස්ත්‍රීය නොවේ. එකම කර්‍තෘවරයා තමා කළ ග්‍ර‍න්ථයෙහි සමුදාය පරිමාණය අර්ථ විසින් දෙපරිද්දෙකින් කීම අනවස්ථිත දෝෂ ප්‍ර‍සංගයෙන් ගර්‍හාවට පාත්‍ර‍ වීමට කරුණෙකි. එහෙයින් මේ විමසිය යුතු තැනෙකි. මෙහි “එකුනසට්ඨිමත්තො” යන පදයෙන් අටපනසක් පමණ යැ යි ගන්නට යම්කිසි ශාස්ත්‍ර‍ යුක්තියෙක් වෙයිනම් මැනැවි. “එකො ච එකො ච = එකා” යි සරූපෛක ශෙෂවාර්‍ථයෙන් “එක” යන්නෙන් දෙකක් ගත හැකි බව පෙනෙයි. එසේ ගැනීම ශාස්ත්‍ර‍යුක්තියට උචිත වන බැවින් වරදෙක් නො වේ. එකල්හි “එකුනසට්ඨිමතෙතා” යන්නට දෙකකින් අඩු වූ සැටක් පමණයැ යි අරුත් කිය හැකි වෙයි. මෙසේ ප්‍ර‍යත්නයෙන් ශාස්ත්‍ර‍යුක්ති දක්වා මෙය සිද්ධකර ගැනීමට අවශ්‍ය කමෙක් නැතැයි ඇතැම් විදග්ධ කෙනෙකුන් විසින් තර්ක කළ හැකි වෙයි. ප්‍ර‍ධාන සහිඅටුවා සතරෙහි ම මේ වචනය යොදා තිබෙන බැවින් වෙනස් කිරීම ද නො යෙදේ. විශුද්‍ධිමාර්‍ගයෙහි කී “අට්ඨපඤ්ඤාස” යන වචනය ඉවතලීම ද නො යෙදෙයි. දෙක ම සාධුත්‍වයෙන් පිළිගත යුතු කල්හි ආයාශයෙන් වුව නීතියකට ගැනීම සාධුසම්මත විසින් සැලකිය යුතු ය. මෙහි නොයෙක් ප්‍ර‍ශ්න මතු විය හැකි ය. ඒ කිනම් ප්‍ර‍ශ්නයක් මතු වුවත් විශුද්‍ධිමාර්‍ගය බණවර විසින් අටපනසෙකැයි යනු පිළිගත යුතු මැ යි. මෙහි අවයව පරිමාණය වනාහි සීළ - ධූතඞ්ගකම්මට්ඨානගහණ - පඨවිකසිණ - සෙසුකසිණ - අසුභ කම්මට්ඨාන ඡඅනුස්සති - අනුස්සතිකම්මට්ඨාන - බ්‍ර‍හ්මවිහාර - ආරුප්ප - සමාධි ඉද්ධිවිධ - අභිඤ්ඤා - ඛත්‍ධ - ආයතනධාතු - ඉන්ද්‍රියසච්ච - පඤ්ඤා භූමි දිට්ඨිවිසුද්ධි - කඞ්ඛාවිතරණ විසුද්‍ධි - මග්ගාමග්ගඤාණදස්සන විසුද්‍ධි - පටිපදාඤාණදස්සන විසුද්‍ධි - ඤාණදස්සන විසුද්‍ධි - පඤ්ඤා භාවනානිසංස නිදේදස විසින් තෙවිසින (23) නිර්‍දෙශයෙකින් දක්වන ලද්දේ වෙයි. මෙසේ මෙහි සමුදාය - අවයව පරිමාණ විසින් පරිමාණකථනය ග්‍ර‍හණධාරණ ශක්තිමතුන් ගේ ග්‍ර‍න්ථපරිශීලනයට ඉවහල්වන බව දත යුතුය.

 

“ප්‍ර‍ස්තුතග්‍ර‍න්ථයෙහි අධ්‍යයනය ශ්‍ර‍වණාදි වශයෙන් පවත්නා ශිෂ්‍යලෝකයා හට ප්‍රොතසාහෝත්පාදන සඳහා පරිමාණ කථා කර්‍තව්‍ය යි.”[14]

 

යනු එහෙයින් කියන ලදී. ශිෂ්‍යයන් ගේ ශක්ති පරිද්දෙන් පිළිපැදීමට පරිමාණකථනය අවශ්‍ය බව දතුයුතු.

 

පරිමාණකථනය මෙන් ප්‍රයෝජනකථනය ද ශිෂ්‍යලොකයා ගේ පැවැත්මට කාරණය වෙයි. “පරිමාණ ප්‍ර‍යෝජන කථාද්‍වය ශිෂ්‍යලොකප්‍ර‍වෘත්ත්‍යඞ්ග වෙයි”[15]

 

යනු ප්‍රයෝජන පරාක්‍ර‍මබාහු වචන හෙයින් ග්‍ර‍න්ථයෙක්හි ප්‍රයොජන කථනය ද අවශ්‍ය වෙයි. ප්‍රයෝජනය බළත් මුඛ්‍යානුෂඞ්ගික වශයෙන් දෙපරිදි වේ. මෙහි මේ ප්‍රයෝජන ද්වයම දක්වන පරාක්‍ර‍මබාහු නරදෙවයෝ :-

 

‘එහි ප්‍රියශීල ප්‍ර‍තිපත්තිවත්සල සුශික්‍ෂිත මුමුක්‍ෂුයොගී ජනයහට ප්‍රිති්‍යුත්පාදනය මුඛ්‍ය ප්‍රයෝජනය, චතුෂ්පාරිශුද්‍ධිශීලයෙහි සුප්‍ර‍තිෂ්ඨිත වැ අධිශීල ශික්‍ෂා සිද්ධ කොට ස්වචරිතානුකුල කර්‍මස්ථාන පරිග්‍ර‍හාදීක්‍ර‍මයෙන් පැවැත භාවනාප්‍ර‍කර්‍ෂර්‍ය්‍යන්ත ජන්මක ලොකොත්තරඥානසිද්‍ධින් අධිප්‍ර‍ඥාශික්‍ෂායෙහි මස්තකප්‍රාප්ත වැ පරමදක්‍ෂිණියක්‍ෂිණාශ්‍ර‍වභාවයට සම්ප්‍රාප්ත වැ සමාපත්ති සුඛානුභවයෙන් දවස් යවා නිරුපධිශෙෂ නිර්‍වාණධාත්‍වමෘතපදප්‍රාප්ත වනුමෙහි ආනුෂඞ්ගික ප්‍රයෝජනය යි දත යුතුය.”[16]

 

යනු පවසති. පිළිවෙත් පිරුමෙහි ආදර ගෞරව සම්ප්‍ර‍යුක්ත වූ සසරින් මිදෙනු කැමැති යෝගීජනයනට ප්‍රීතිය පහළ වීම මුඛ්‍ය ප්‍රයෝජනය බව මෙයින් පැවැසෙයි. ඒ යෝගී ජනයනට එතද්ග්‍ර‍න්‍ථශ්‍ර‍වණයෙන් ප්‍රීතිය පහළ වීමෙන් සසරින් මිදීමට යුක්තප්‍ර‍යුක්ත වැ අධිප්‍ර‍ඥාශීක්‍ෂාවෙහි හික්මී අමාමහ නිවන් සැප ලැබිය හැකි බැවින් තත් ප්‍ර‍තිලාභය ආනුෂඞ්ගික ප්‍රයොජනය බව ද පැවැසෙයි. මේ ප්‍රයෝජනය “තෙසං පාමොජ්ජකරණං” යන්නෙන් ග්‍ර‍න්‍ථකාරකයෝ ම දැක් වූහ. මෙසේ සංඥා නිමිත්ත කර්‍තෘ - පරිමාණ - ප්‍රයෝජන සංඛ්‍යාත අර්‍ථපඤ්චකය මේ ග්‍ර‍න්ථයෙහි දක්වන ලද බැවින් විශුදද්‍ධ බුධිමත් බුද්ධඝොෂාචාර්‍ය්‍යපාදයෝ ද ප්‍රාචීනචාර්‍යයන්ගේ චාරිත්‍ර‍ය අනුගමනය කළහ.

 

ධර්‍මසංවර්‍ණනා කරන ආචාර්‍ය්‍යපාදයන් විසින් ඒ වර්‍ණනා කරනු ලබන ධර්‍මයට නිදානය ආදියෙහි ම තබා තදන්තර වැ ප්‍ර‍යෝජනය - පිණ්ඩාර්‍ථය - පදාර්‍ථය සම්බන්‍ධය

 

ග්‍ර‍න්ථතත්ත්‍වය අධිප්‍රායය - චොදනාය - ශොධනා යැ යන මේ හැම කිය යුතු වෙයි මේ වනාහි ධර්‍මසංවර්‍ණනා විෂයෙහි ආචාර්‍ය්‍ය සම්මතය බව ටීකා - සන්‍ය දෙකින් ම පැනෙයි. මෙහි වනාහි “භගවන්තං කිර සාවත්‍ථියං විහරන්තං රත්ති භාගෙ අඤ්ඤතරො දෙවපුත්තො උපසඞ්කමිත්‍වා” යනාදීන් නිදානය දක්වන ලදී. “අන්තොජටා බහිජටා” යනාදී ගාථාවෙන් දිව්‍ය පුත්‍ර‍යා විසින් විචාරණය කරන ලද කාරණය හෙළි පෙහෙළි කරමින් භාග්‍යවතුන් වහන්සේ විසින් “සීලෙ පතිට්ඨාය” යනාදී ගාථාවෙන් වදාළ ධර්‍මය ඔහු ගේ සැක පසිඳලීමට ඉවහල් වූ බව පැනෙන හෙයින් ප්‍රයෝජනය ද මෙහි නිදාන මුඛයෙන් ම දක්වන ලදි. සත්වයා ගේ විශුද්‍ධියට ශීල - සමාධි - ප්‍ර‍ඥා සංඛ්‍යාත මාර්‍ගය ඉවහල් වන්නේ එය “විසුද්‍ධිමග්ගං භාසිස්සං” යනාදීන් පිණ්ඩාර්ථය විසින් දක්වන ලදී. “සීලෙ ද පතිට්ඨායාති = සීලේ ඨත්වා” යනාදීන් පදාර්‍ථය ද සම්බන්‍ධය ද අධිප්‍රායය ද විභාවනය කරන ලදී. “කිංසීලං” යනාදිය චොදනා විසින් ද “පාණාතිපාතාදිහි වා විරමන්තස්සවත්ත පටිවත්තං වා පුරෙන්තස්ස චෙතනාදයො ධම්මා” යනාදිය ශෝධන විසින් ද දක්වන ලදී. සමාධි - ප්‍ර‍ඥාකථායෙහි ද මේ ක්‍ර‍මයෙන් ම දක්වන ලදී. මෙසේ මේ ග්‍ර‍න්ථය ආචාර්‍ය්‍ය චාරිත්‍ර‍නුගමනයෙන් සම්පාදනය කරන ලද බව පැනෙයි.

 

මේ ග්‍ර‍න්ථය වනාහි දීඝනිකායාදි පාළියට කළ සුමඞ්ගල විලාසින්‍යාදි අර්‍ථකථාවන් මෙන් වෙන සංවණිනාවක් වත් අභිධධර්‍මාවාතරාදිය මේන අන්‍ය ප්‍ර‍කරණයක් වත් නො වන බව ටීකාවාර්‍ය්‍ය මතය බැවින් මෙහි විශෙෂත්‍වයක් ඇති බව පිළිගත යුතු ය. මේ වනාහි ඒ සුමඞ්ගලවිලාසින්‍යාදීන් ගේ ම ශෙෂයැ යි[17] ඒ විශේෂත්‍වය ටීකායෙහි ම කියන ලදී. සන්‍යයෙහි ද මේ ටීකා මතය ම ඇරැ දක්වන ලදී. මෙය වෙන සංවර්‍ණාවක් නො වන බැවින් ම වස්තු වැ විනා ස්තුති පූර්‍වක වැ අසම්පාදීත බව නිගමනය කරන ලද්දේ වෙයි.

 

“දීර්‍ඝනිකායාදීන්ට සුමඞ්ගලවිලාසින්‍යාදීන් මෙන් වෙන සංවණිනාවක් නො වන බැවිනුදු අභිධර්‍මාවතාර - සුවතාවතාරාදීන් මෙන් ප්‍ර‍කරණාන්තරයක් නො වන බැවිනුදු ස්තුති පූර්‍වඞ්ගමකොට නො දක්වන ලදි. මේ වනාහි සුමඞ්ගලවිලාසින්‍යාදීන් ගේ ම ශේෂය යි දත යුතු යි”[18]

 

යන මේ පරාක්‍ර‍මබාහු වචනයෙන් ද එය පැහැදිලි වෙයි. විශුද්‍ධිමාර්‍ගය පිළිබඳ මෙවැනි නිගමනයක් කිරීමට ඉවහල් වූයේ බුද්ධඝෝෂාචාර්‍යපාදයන් විසින් ම සුමඞ්ගලවිලාසින්‍යාදී අර්‍ථකථා නිගමනයන්හි විශුද්‍ධිමාර්‍ගයේ බණවර ගණන සමඟ ඒ අර්‍ථකථාවන්හි බණවර ගණන එක් කොට සලකන ලද බැවිනි. සුමඞ්ගල විලාසිනියේ විශුද්‍ධිමාර්‍ගයේ බණවර ගණන සමඟ බණවර එක්සිය සාලිසෙකි. පපඤ්චසූදනියේ එක්සිය සසැටෙකි. සාරත්‍ථප්පකාසිනියේ එක්සිය සත්තිසෙකි. මනොරථපූරණියේ එක්සිය තෙපනසෙකි[19] මෙසේ චතුරාගම සංවණීනානිගමනයෙහි විශුද්‍ධිමාර්‍ගයේ අටපනස් බණවර සමග ඒ ඒ ආගමන සංවණිනානිගමනයෙහි විශුද්‍ධිමාර්‍ගයේ අටපනස් බණවර සමග ඒ ඒ ආගමසංවර්‍ණනාවන්හි බණවර ගණන කැටි කොට දක්වන ලද්දේ ඒ මේ විශුද්‍ධිමාර්‍ගය චතුරාගමසංවර්‍ණනාශේෂය වන බැවිනි. විශුද්‍ධිමාර්‍ගයෙහි සාමාන්‍ය සංඥාව චතුරාගමසංවණනාශෙෂය යනු මෙයින් ම සිද්ධයැ යි හැගේ. ප්‍ර‍ධාන සඟිඅටුවා සතරෙහි පැහැදිලි කළයුතු කරුණු රැසක් මේ විශුද්‍ධිමාර්‍ගයෙහි විස්තර වශයෙන් දක්වන ලද බැවින් මේ ග්‍ර‍න්ථයට ඒ සාමාන්‍ය නාමය මැනැවින් ගැළපෙයි. ග්‍ර‍න්ථතත්‍වය දැනගැනීමට මේ කාරණය ම පමණ වෙයි. එහෙත් මේ ග්‍ර‍න්ථය පිළිබඳ ඇතැම් විචාරකයන් ගේ අදහස් දැක්වීමෙන් පාඨකයනට යම්කිසි එළියක් ලැබිය හැකි වෙයි.

 

“උපතිස්ස ගේ ඇටසැකිල්ලක් හෝ රාමුවක් වැනි විමුත්ති මග්ගය තමන් ඉදිරියේ ඇතිව බුද්ධඝෝස විසින් විසුද්‍ධිමග්ගය ලියූ බව ද, තම හසළ බුද්‍ධියෙන් හා පාණ්ඩිත්‍යයෙන් එහි අඩු තැන් පුරවා ශ්‍රෙෂ්ඨ කෘතියක් නිපැද වූ බව ද අප නිගමනයයි.”[20]

 

මේ වනාහි පූනානුවර පර්ග්‍යුසන් විද්‍යාලයේ පාළිභාෂාව පිළිබඳ ආචාර්‍යවරයෙකු වූ ඇම්.ඒ.පී. එච්.ඩී. උපාධිධාරී පී.වී. බාපන් මහතාගේ මතය විශුද්‍ධිමාර්‍ග මහාසන්න ප්‍ර‍ස්තාවනාවෙහි දැක්වූ සැටිය මෙයින් විශුද්‍ධිමාර්‍ගය ළඟ තබාගෙන එහි ඌනපූරණය කරමින් නිපදවන ලද ග්‍ර‍න්ථයක් බව හෙළි වෙයි.

 

“ථෙරවාදීන්ට විශුද්‍ධිමාර්‍ගය යම්සේ ද? අභයගිරිකයන්ට විමුක්තිමාර්‍ගය ද එසේය. මහාවිහාරිකයන්ට විමුක්තිමාර්‍ගයේ එන ඇතැම් මත ඛණ්ඩනය කිරීම අවශ්‍යයෙන්ම උවමනා වී තිබෙන්නට ඇත. එමෙන් ම ඔවුන්ට එවැනි ග්‍ර‍න්ථයෙක අවශ්‍යතාව බෙහෙවින් බලපවත්වන්නට ඇත. එසේ නම් බුඬඝොස හිමියන්ගෙන් ඒ කාර්‍ය්‍ය මැනැවින් ඉටු වී තිබෙන බව කිය හැකිය.”[21]

 

මේ වනාහි පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන්හි ආචාර්‍ය පණ්ඩිත පින්වත්තේ දෙවානන්‍ද ස්ථවිරයන් වහන්සේ ගේ මතය යි. මෙයින් විමුක්තිමාර්‍ගය අභයගිරිකයන් ගේ ග්‍ර‍න්ථයක් බව ද, විශුද්‍ධිමාර්‍ගය මහාවිහාරිකයන් ගේ ග්‍ර‍න්ථ්‍යක් බව ද හෙළි කරන අතරැ විමුක්තිමාර්‍ගයේ ඇතැම් මත ඛණ්ඩනය සඳහා විශුද්‍ධිමාර්‍ගය කරන්නට ඇති බව ද සැක සහිත වැ දැක්වෙයි. මෙයින් බාපත් මතය නිරස්ත වෙයි. විශුද්‍ධිමාර්‍ගය විමුක්ති මාර්‍ගයේ ඌණපූරණයක් නො වැ එයට පටහැණි වැ සැපයූ ගතක් බව මෙයින් පැවැසෙන බැවිනි.

 

“මේ නිදසුන් වලින් අපට පෙනෙන්නේ නොයෙක් පොත් වලින් කරුණු උපුටා සංග්‍ර‍හ කෙරෙමින් ලියා තිබුණු සිංහල විසුද්‍ධිමග්ග අටුවාව බුදුගොස් තෙරණුවන් විසින් පාළියට පෙරලූ බව ය. විසුද්‍ධිමග්ගය සිංහල රටේ සිංහල භික්‍ෂුවක් අතින් නිපනක් බවට එහි පෙනෙන නානාවිධ කථාවන් සහ ප්‍ර‍වෘත්තීනුත් නිදසුන් කළ හැකිය. විසුද්‍ධිමග්ග විමුත්තිමග්ගයේ පරිවර්‍තනකැ යි ඇතැම් උගත්තු කල්පනා කෙරෙති. මේ දෙපොතේ සමත්‍වය දැඩි වශයෙන් පෙනෙතත් එකින් එකක් පරිවර්ථනය නො කළ බවට නිදසුන් බෙහෙවි.”[22]

 

මේ වනාහි සරික්කාමුල්ලේ නිරිනන්‍දන පිරිවෙන් හිමි පණ්ඩිත මැදඋයන්ගොඩ විමලකීර්‍තති ස්ථවිරයන් වහන්සේ ගේ මතය යි. මෙයින් සිංහල භික්‍ෂුවක් විසින් ලියා තැබූ සිංහල විශුද්‍ධිමාර්‍ගයක් බුදුගොස් හිමියන් විසින් පාළියට පෙරළන ලද බවත් විශුද්‍ධිමාර්‍ගය විමුක්තිමාර්‍ගයේ පරිවර්‍තනයක් නො වන බවත් දැක්වෙයි. මුලින් සඳහන් කළ බාපත්මතය මෙයිනුදු නිරස්ත වෙයි. මෙසේ අපරට විචාරකයන් දෙපළක ගේ අදහස් දැක්වීමට දක්වන ලද්දේ බාපත්මතය එයින්ම බිඳවැටෙන බව දැක්වීමට නො වේ. බාපත්මතය අප ද නො පිළිගන්නා බැවින් එයට සාධක වශයෙන් ඒ විචාරකයන්ගේ අදහස් ඇද දැක්වීමටත් ඒ අදහස් හි සාරයක් ඇද්දැ යි විමසීමටත් ය. පණ්ඩිත දෙවානන්‍දස්ථවිරමතය ගැන යමක් පළමුකොට කියයුතු වෙයි. විමුක්තිමාර්‍ගය අභයගිරිකයන් ගේ බව ඒ මතයෙහි සඳහන් වේ. විමුක්තිමාර්‍ගය කළ උපතිස්ස හිමියන් අභයගිරිකයකු බව මේතාක් ඔප්පු නො කළ බැවින් එහි වෙනස් මත ඇති පමණින් එය අභයගිරිකයන් ගේ ග්‍ර‍න්ථයෙකැයි නිගමනය නො කළ හැකිය. මහාවිහාරිකයන් ගේ යැයි සම්මත ග්‍ර‍න්‍ථයන්හිත් වෙනස් මතයන් ඇතැම්විට දක්නට ලැබෙන බැවිනි. මහා විහාරිකයන් විසින් ඛණ්ඩනය නො කළ හැකි මතයක් විමුක්ති මාර්‍ගයෙහි නැති බව දැනට පළ වී තිබෙන කරුණු වලින් පෙනේ. එහෙයින් මහාවිහාරිකයන් විමුක්තිමාර්‍ගමතයන් ඛණ්ඩනය කිරීමට බුදුගොස් හිමියන් යොදවන ලද බව පිළිගැනුමට කරුණු නැති. විශුද්‍ධිමාර්‍ගය කිරීමෙන් විමුක්තිමාර්‍ගයේ ඇතැම් මතයනට පහර වැදීම වූ බැවින් මහාවිහාරිකයන් ලඝුකොට සැලකිය යුතු නොවේ. අනතුරුව පණ්ඩිත විමලකීර්‍තති ස්ථවිර මතය ගැන සලකා බැලිය යුතු වෙයි. සිංහල භික්‍ෂුවක් විසින් ලියන ලද සිංහල විශුද්‍ධිමාර්‍ග අටුවාව බුදුගොස් හිමිතුමන් විසින් පාලයට පෙරළන ලද බව තන්මතය යි. විමුක්තිමාර්‍ගයේ පරිවර්‍තනයක් නොවන බවද උන්වහන්සේගේ පිළිගැනීම යි. මේ මතය විඥයන් විසින් ප්‍ර‍ශස්තයැ යි පිළිගැනීමෙහි වරදෙක් නැති සිංහල අටුවාව පාළියට පෙරැළීමට මෙහි පැමිණි බුදුගොස් හිමියනට පරිවර්‍තනශක්තිකය ඇති දැයි විමසීම මහාවිහාරික ප්‍රාඥයනට අභිමතව වුනා පුදුමයක් නොවන බැවිනි. එහෙත් සිංහල විශුද්‍ධිමාර්‍ග අටුවාවක් තිබුණු බවට කිසිම සාධකයක් නැති බැවින් මේ මතය තවත් විචාරණයට තැබිය යුතු වෙයි. එනම් අටුවාවක් ගැන කිසිම දැනීමක් අපට මේ තාක් නූපන් බැවින් විචාරකයනට ඉඩ තබා මේ ග්‍ර‍න්ථය පිළිබඳ අපගේ අදහස මෙයින් මතු දක්වම්හ.

 

ඒ මේ විශුද්‍ධිමාර්‍ගය වනාහි හෙළ අටුවා මැනැවින් ඉගෙන මහාවිහාරිකයන්ගේ සුවිශුද්‍ධිවිනිශ්චය මැනැවින් දැනැ හෙළ බසින් පැවැති මහ අටුවාවෙහි ගැබ් වූ කරුණු උපයෝගී කොට ගෙන ගුරුමුඛයෙන් හා මහවෙහෙරැ වැසි උගත් තෙරවරුන් ගෙන් අසා දැනගත් ඇතැම් මහතෙරවරුන් හා උවැසු උවැසියන් පිළිබඳ කථාප්‍ර‍වෘත්තින් ඒ ඒ තැනට සාධක වශයෙන් ඇරැපාමින් මහවෙහෙරැ වැසි සංඝයා ශක්ති විමසනු සඳහා ඉදිරිපත් කළ “අන්තොජටා බහිජටා” යනාදී ගාථා දෙක මාතෘකා කොට ගෙන අනුබුදු බුදුගොස් මාහිමියන් විසින් ස්වබුද්‍ධි වෛභව්‍යය ද විදහා පාමින් සම්පාදනය කරන ලද චතරාගම සංවණිනාශේෂග්‍ර‍න්ථයෙකි. උන්වහන්සේ විසින් මේ ග්‍ර‍න්ථය සම්පාදනය කිරීමෙහිදී හෙළ මහඅටුවාහි පැවැති ඇතැම් සංවර්‍ණනාවන් හා කථා වස්තූන් හෙළබසින් පාලියට පෙරළන ලද බව ද, දඹදිව දී උන්වහන්සේ විසින් ම කරන ලද ප්‍ර‍ඥාතිවර්ධනයට ඉවහල් වූ ඤාණොදය ප්‍ර‍කරණයෙහි ඇතුළත් ධර්‍මාර්‍ථ විවරණයන් මහාවිහාරිකයන් ගේ සුවිශුද්‍ධි විනිශ්චයට ගැළපෙන සේ සකස් කොට මෙහි ඇතුළත් කළ බව ද අප අදහස යි. මෙසේ මේ ග්‍ර‍න්ථය සැපයීමෙන් බුදුගොස් හිමියෝ තමන් ගේ පරිවර්‍තන ශක්තිය ද, පරමත දූෂණයෙහි හා ස්වමත භූෂණයෙහි පොහොසත් බව දැක්වීමෙන් මහාවිහාරිකයන් ගේ මත මැනැවින් ඉගෙන එහි ස්ථිර වැ පිහිටා සිටින බවට ප්‍ර‍තිඥාප්‍ර‍දානය ද හෙළ අටුවා පාළියට පෙරැළීමෙන් මහාවිහාරිකමතය මැනැවින් සංරක්‍ෂණය වී දේශාන්තරයෙහි පවා පැතිරී යන අයුරු ද හෙළි කළහ. කරුණු මෙසේ හෙයින් මහාවිහාරිකයන්ගේ සම්පූර්‍ණ විශ්වාසය දිනාගැනීමට බුදුගොස් හිමිතුමන් සමර්‍ථවූයේ මේ විශුද්‍ධිමාර්‍ගයෙහි එයට සරිලන ශක්තිය අනූන වැ පවත්නා බැවිනි.

 

බාපන් මහතා කියන්නා සේ විමුක්තිමාර්‍ගය ඉදිරියෙහි තබාගෙන එහි ඌනපූරණය කරමින් මේ විශුද්‍ධිමාර්‍ගය කරන ලද්දේ නම් බුදුගොස් හිමියන් ගේ බුද්‍ධිවෛශාරද්‍ය පිළිබැදී පිළිගැනුමෙක් මහාවිහාරිකයනට නො වේ. එවැනි ඌනපූරණ බුද්‍ධියෙකින් මහාවිහාරිකයන් ගේ චිත්තාරාධනය නො කළ හැකි බව බුදුගොස් හිමියන් හොඳින් ම දැන සිටි බව ඔවුන් පිළිබැදී වැ කළ වැණුම්වලින් පෙනේ. විමුක්තිමාර්‍ගයත් විශුද්‍ධිමාර්‍ගයත් සංසන්‍දනය කරමින් තුලනාත්මක පර්‍යෙෂණයක් කළ බාපන් මහතා ගේ විශුද්‍ධිමාර්‍ග විවේචනය පිළිබඳ සිංහලානුවාදය භදන්ත ශ්‍රඬාතිෂ්‍ය ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද ප්‍ර‍ස්තාවනාවෙහි සඳහන් වන බැවින් එගැන අමුතු ප්‍ර‍යත්නයක් නො දරම්හ. ඒ සිංහලානුවාදය කියන විචාරකයනට හැඟෙන අදහස් කෙසේ වෙතත් අපට හැඟී ගියේ මහත් පරිශ්‍ර‍මයෙකින් ඒ විවේචනය කළ බව යි. එයින් අප අතරැ අභාවයට ගිය විමුක්තිමාර්‍ගය පිළිබඳ අගනා විවරණයක් අපට ලැබුණු බව නො මසුරු වැ කියම්හ. එහෙත් විශුද්‍ධිමාර්‍ගය පිළිබඳ වැ කළ විවෙචනය අප සිත් නොගත් බව ද කියයුතු වැ තිබේ. විශුද්ධිමාර්‍ගය විමුක්ති මාර්‍ගයේ ඌනපූරණයක් වත් පරිවර්‍තනයක්වත් නොවන බව අපගේ හැඟීමයි. පිටකත්‍ර‍ය සහිත සිංහලර්‍ථතථාවන් මැනැවින් උගත් බුදුගොස් හිමියන් විසින් විශුද්‍ධිමාර්‍ගය සම්පාදනය කිරීමෙහිදී තෙවළා බුදුවදන් සහිත හෙළටුවා ඇසිරි කළ බව තද්ග්‍ර‍න්‍ථයෙන් ම පැනෙන බැවින් විමුක්තිමාර්‍ගය එයට අමූලයක් යනු පැනෙයි. ශීල - සමාධි - ප්‍ර‍ඥා සංඛ්‍යාත ත්‍රිවිධශාසනය පිළිබඳ කරුණු විස්තර කිරීමෙහි දී පිටකත්‍රයෙන් නොයෙක් කරුණු උපුටා ගැනීමට හැකි බව නො සලකා හුදු විමුක්ති මාර්‍ගය ම සංසන්‍ධනය කොට කරන ලද විශුද්‍ධිමාර්‍ගය විවෙචනය අනුචිත බව අපගේ හැඟීම යි. රෝගනිදානය විමසා ලෙඩෙකුට පිළියම් කළ චිකිත්සකයකු ගේ බෙහෙත් සීට්ටු රැස් කොට මේ බෙහෙත් ද්‍ර‍ව්‍යයන් අසුවල් බෙහෙත් වට්ටෝරුව ඉදිරියේ තබාගෙන ලියන ලද බව පැනේ යැ යි නිගමනය කිරීම වැනි ප්‍ර‍යත්නයක් බාපත් මහතා විසින් දරා තිබෙන බව පැනෙයි. විචාරන්‍යට එය ද කරුණක් වුවත් වට්ටෝරුවට වඩා පැරණි චරක සුශ්‍රැතාදි වෛද්‍යාග්‍ර‍න්ථයන්හිත් ඒ රෝගයට ඒ බෙහෙත් ද්‍ර‍ව්‍යයක් යොදා තිබෙද්දැයි විමසීම ප්‍ර‍ඥාගෝචර ය.

 

ග්‍ර‍න්ථතත්‍වයට අනතුරු වැ කර්‍තෘතත්ත්‍වය පිළිබැඳි යමක් මෙහිලා දැක්විය යුතු වැ තිබේ. මේ විශුද්‍ධිමාර්‍ගය කර්‍තෘතත්ත්‍වය විශුද්‍ධිකාමියොගීන් ගේ ප්‍රයෝජනය සඳහා කරන ලද බව ග්‍ර‍න්ථයෙහි ම සඳහන් වන බැවින් මෙහි කර්‍තෘවරයා ගේ කරුණා මහිමය පෙරැගැමි වැ පැනෙයි. අනුබුදු මිහිඳුමාහිමියන් විසින් හෙළ බසින් තැබූ අටුවාවන් පෙළබසට පෙරැළීමෙහි ශක්තිය මහාවිහාරික මහතෙරුවනට පෑමෙහි අදහස ඉතිහාස ප්‍ර‍වෘත්තියෙන්ගෙන් පැනෙන බැවින් මේ කර්‍තෘවරයාගේ ප්‍ර‍ඥාසම්පත්තිය ද පෙරගැමි වැ පැනෙයි පිටකත්‍ර‍ යෙහි ද, තදර්‍ථතථාවන්හි ද, ව්‍යාකරණවිෂයෙහි ද, දර්‍ශනශාස්ත්‍රයෙහි ද, වෛදිකග්‍ර‍න්ථවිෂයෙහි ද, මානවධර්මශාස්ත්‍ර‍ විෂයෙහි ද ඉතිහාස පුරාවිද්‍යාවිෂයෙහි ද කාය විච්ඡේදවිද්‍යාවෙහි ද, ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද පැතිරි ගිය බුද්ධි මාමාතම්‍යක් මෙහි කර්‍තෘවරයා කෙරෙහි පැවැති බව මොනවට පැනෙයි. පිටකත්‍රයෙහි හා තදර්‍ථකථාවන්හි පැතිරි ගිය බුද්‍ධියක් ඇති බවට මේ විශුද්‍ධිමාර්‍ගයම සාධක වශයෙන් දැක්වීම ප්‍ර‍මාණවෙයි. ව්‍යාකරණශාස්ත්‍ර‍ය මැනැවින් දත් බවට තත්කෘතීහු ම සාධක වෙති. මේ විශුද්‍ධිමාර්‍ගයත් චතුරාගමාර්‍ථකථාවනුත් විමසීමෙන් බලන උගතුනට මෙහි කර්‍තෘවරයා වූ බුදුගොස හිමි තුමන් ගේ ශාබ්දිකත්‍වය පිළිබඳ සැකයක් පහළ නො වෙයි. ඇතැම් කෙනෙකුන් විසින් උන්වහන්සේ ගේ ව්‍යාකරණ ඥානය ගැන ද සැක පහළ කර තිබෙන බැවින් මේ කාරණය ගැන විශේෂයෙන් ප්‍ර‍යත්නයක් දැරිය යුතු වැ තිබේ.

 

“ගහපතිදාරකා පන කච්ඡෙහි සෙදං මුඤ්චන්නෙහි පිට්ඨියා ලොණං පුප්ඵමානාය භූමිං කසිත්‍වා නිහතමාන දප්පා හොන්ති”[23]

 

යන මේ පාඨය ව්‍යාකරණශාස්ත්‍ර‍ය පිළිබඳ සුනිශිතබුද්‍ධි යක් නැතියකුට මෙසේ ලිය නො හැකි ය. මෙහි “කච්ඡෙහි සෙදං මුඤ්වන්තෙහි” යනු ද “පිට්ඨියා ලොණං පූප්ඵමානාය” යනු ද විශෙෂව්‍යාකරණ නීතියකට අනුවැ යොදා තිබෙන බැවිනි. විශුද්‍ධිමාර්‍ගයෙහි ඉන්‍ද්‍රියසත්‍යනිර්‍දෙශයෙහි ඉන්‍ද්‍රියාර්‍ථය විවරණය කිරීමෙහිලා ඉන්‍ද්‍රියමින්‍ද්‍ර‍ලිඞ්ගමින්‍ද්‍ර‍දෘෂ්ටමිණද්‍ර‍සෘෂ්ටවින්‍ද්‍ර‍ජුෂ්ට මින්‍ද්‍ර‍දත්තමිතිවා” 5-2-93 යන පාණීනීය සූත්‍ර‍ය අනුගමනය කළ බව පෙනේ. මේ සූත්‍ර‍ය හා විශුද්‍ධිමාර්‍ගයෙහි එන “කො පන සෙනං ඉන්‍ද්‍රියට්ඨො නාමාති? ඉන්‍දලිඞ්ගට්ඨො ඉන්‍ද්‍රියට්ඨො, ඉන්‍දදෙසිතට්ඨො ඉන්‍ද්‍රියට්ඨො, ඉන්‍දදිට්ඨට්ඨො ඉන්‍ද්‍රියට්ඨො, ඉන්‍දසිට්ඨට්ඨො, ඉන්‍ද්‍රිට්ඨො, ඉන්‍දජුට්ඨට්ඨො ඉන්‍ද්‍රිට්ඨො”[24] යනු සංසන්දනය කරනු මැනවි. ප්‍ර‍ඥාභූමි නිර්‍දෙශයෙහි ඉදමප්‍ර‍ත්‍ය යථාර්‍ථ විවරණය ද පාණිනීව්‍යාකරණානුගමනයෙන් කළ බව “ඉදප්පච්චයා එව ඉදප්පච්චයතා, ඉදප්පච්චයානං වා සමූහො ඉදප්පච්චයතා, ලක්ඛණං පනෙත්‍ථ සද්දසත්‍ථතො පරියෙසිතබ්බං”[25] යන මෙයින් හෙළි වෙයි. මෙහි කී ශබ්ද ශාස්ත්‍ර‍ය පාණිනීව්‍යාකරණය බව පැහැදැලි ය. මෙසේ මේ කර්‍තෘවරයා ව්‍යාකරණ ශාස්ත්‍ර‍විෂයෙහි ද පැතිරී ගිය බුද්ධියක් ඇතියකු බව මැනැවින් හෙළිපෙහෙළි වෙයි. දර්‍ශනශාස්ත්‍රයෙහි ව්‍යාප්ත බුද්‍ධි ප්‍ර‍භාවයක් පැවැති බව විශුද්‍ධිමාර්‍ගය කියන දර්‍ශනශාස්ත්‍ර‍ය දතුවනට මැනැවින් වැටහෙයි. ප්‍ර‍තීත්‍යසමුත්පාද නිර්‍දෙශයෙහි දැක්වෙන “පුරිමෙනාතා පච්චයසාමග්ගි පරිදීපකෙන පටිච්චපදෙන පවත්තිධම්මානං පච්චයසාමග්ගියං ආයත්තවුත්තියත්තා සසසතාහෙතු සමහෙතුවසවත්ති වාදප්පභෙදානං සස්සතාදීනං අභාවො පරිදිපිතො හොති”[26] යන පාඨයෙහි ශාස්වතවාදය අහෙතුවාදය - විෂමහෙතුවාදය - වශවර්‍තතිවාදය සඳහන් වන බැවින්ද, “පච්ඡිමෙන ච පදෙනාති ධම්මානං උප්පාදපරිදිපකෙන සමුප්පාදපදෙන පච්චය සාමග්ගියං ධම්මානං උප්පත්තිතො විහතා උච්ඡෙද - නත්‍ථික - අකිරියවාදාති උච්ඡෙදාදිවිඝාතො පරිදීපෙතා හොති”[27] යන පාඨයෙහි උච්ඡෙදවාදය - නාස්තික වාදය - අක්‍රියවාදය සඳහන් වන බැවින් ද බුදුගොස් මාහිමියන් නොයෙක් දර්‍ශනවාදයන් දත් බව පැනෙයි. දර්‍ශනශාස්ත්‍රයෙහි දැක්වෙන ප්‍ර‍කෘති - පුරුෂ ආත්ම අණු - කාලාදි පදාර්ථයන් දත් බවට මේ කරුණු සාධක වෙති.

 

ප්‍ර‍කෘති - අණු - කාලාදීන් ගේ වශයෙන් ලොකප්‍ර‍වෘත්තිය දැක්වීම විෂමහේතුවාදය බව ද, ඊශ්වර - පුරුෂ ප්‍ර‍ජාපතීන් ගේ වශයෙන් ලොක නිර්‍මාණය දැක්වීම වශවර්‍තතිවාදය බව ද, ආත්මය සදාකාලිකත්‍වයෙන් දැක්වීම ශාස්වතවාදය බව ද, ආත්මය ඉහාත්මයෙහි ම ප්‍ර‍ච්ඡින්නවනු දැක්වීම උච්ඡේදවාදය බව ද, කර්‍මඵලාදීන් ගේ අභාවය දැක්වීම නාස්තිකවාදය බව ද, පින් පව් කිරීමක් නැතැයි ගැනීම අක්‍රියවාදය බව ද දත යුතු ය.

 

“පටිච්චසමුප්පන්නධම්මෙසු විමූළ්හො අවිජ්ජාදීනං සඞ්ඛාරාදීනං පවත්තිං අගණ්හන්තො ‘අත්තා ජානාති වා න ජානාති වා’ සො එව කෙරොති කාරෙතිවා යො පටිසන්‍ධියං උපපජ්ජති තස්ස අණු ඉස්සරාදයො කලලාදීභාවෙන සරීරං සණ්ඨපෙන්තා ඉන්‍ද්‍රියානි සම්පාදෙන්ති, සො ඉන්‍ද්‍රියසම්පන්නො ඵුසති වෙදියති තණ්හීයති උපාදියති, ඝටීයති, සො පුන භවන්තරෙ භවතීති වා, සබ්බෙ සත්තා නියතිසඞ්ගති භාවපරිණතා, ති වා විකප්පෙති”[28] යන මේ පාඨයෙහි ‘අත්තා ජානාති වා’ යන්නෙන් කපිලමතය ද ‘න ජානාති වා’ යන්නෙන් කණාදමතය ද දක්වන ලද බව විශුද්‍ධිමාර්‍ගමහාසන්‍යය කියයි. එසේම මේ පාඨයෙන් සෙශ්වර වාදය ද නියතිවාදය ද සඞ්ගතිවාදය ද ස්වභාවවාදය ද බුදුගොස් හිමියන් දත් බව පැනෙයි. පාතඤ්ජලමතය බුදුගොස් හිමිතුමන් දත් බව ප්‍ර‍සිද්ධ කරුණකි. ඒ බව බුද්ධඝොෂ ප්‍ර‍වෘත්තියෙහි මැනැවින් සඳහන් වන බැවින් විශෙෂ ප්‍ර‍යත්නයක් දැරිය යුතු නො වෙයි.

 

“බුද්ධඝොෂාපාදයන් පතඤ්ජලීක්‍ර‍මයට ළැදි වැ, සිටි බව එක් පරම්පරාගත කථාවෙක් අපට කියයි. එය උන්වහන්සේ ගේ ම අර්‍ථකථාගත වචන වලින් මැනැවින් හෙළි වෙයි. පුරුෂ හා ප්‍ර‍කෘති සංඛ්‍යාත මූලික යුගලය කෙරෙහි විශ්වාසය තබන සාංඛ්‍ය හා යෝගක්‍ර‍මයට, එනම් ප්‍ර‍කෘතිවාදයට බුද්‍ධඝෝෂපාදයෝ මුළුමනින් ම පහර දෙති. ලෝකය පිළිබඳ මූලාකාරණය කොට සලකන ප්‍ර‍කෘතිවාදීන් ගේ ප්‍ර‍කෘතිමතයට වඩා අවිද්‍යාව පිළිබඳ බෞධමතය වෙනස් බව දැක්වීමට උන්වහන්සේ මහත් ප්‍ර‍යත්නයක් දරා තිබෙන බව පෙනේ. බාහිරිකයන් ගේ පුරුෂ හා ප්‍ර‍කෘතිමතයට වඩා නාමරූපය පිළිබඳ බෞධමතය වෙනස් බව දැක්වීම ගැන ද එසේ මැයි. කොයිහැටියෙන් නමුත් සාංඛ්‍ය හා යෝගක්‍ර‍මය ගැන පැවැති උන්වහන්සේ ගේ පූර්‍වභක්තිය පෙරට ම එන ලෙසකුදු පැනෙයි. උන්වහන්සේ ගේ නාමරූපය පිළිබැඳි මතය සාංඛ්‍ය දර්ශනයේ පුරුෂ - ප්‍ර‍කෘතියුගලය පැහැදිලි කිරීමට යෙදූ අන්‍ධ පඞ්ගුන්‍යායය උන්වහන්සේ ද යොදන සේක. සුප්‍ර‍සිද්ධ නාගසේන - අශ්වඝෝෂපාදයන් වැනි බෞද්‍ධ චින්තකයන්ගේ ප්‍ර‍මාණයට අනුවැ බුද්ධඝෝෂපාදයන් තම මතය ගොඩනගා ගත් බවට තර්‍ක කරන්නට ද ඉඩකඩ තිබේ. එහෙත් බෞද්‍ධ චින්තකයන් සාංඛ්‍යදර්‍ශනාගත චින්තාවන් පිළිබඳ ප්‍ර‍භාවයක් නො ලත් බව කාට කිය හැකි ද? උපයෝගී කරගත හැකි සැම සාක්‍ෂියක් කෙරෙහි ම සැලකිල්ලක් දක්වන විට නාමරූපය පිළිබඳ වූ බෞද්‍ධ මතය සාංඛ්‍යදර්‍ශනායෙහි පුරුෂ - ප්‍ර‍කෘතියුගලයට ස්ථිර ලෙස ම ගැළපෙන බව කියන M. Oltramare මහතා ගේ අදහසට අපට ද එකඟ වන්නට සිදු වෙයි.”[29]

 

මේ වනාහි “බුධඝොස ජීවිතය හා කෘති” නමැති ග්‍ර‍න්ථය සම්පාදනය කළ ඇම්.ඒ.බී.ඇල්. උපාධාධාරි විමල චරණ ලෝ මහතාගේ ප්‍ර‍කාශනයකි. මෙයින් බුදුගොස් හිමියන් සාංඛ්‍ය - යෝගදර්‍ශන ක්‍ර‍මයන් දැන සිටි බව ප්‍ර‍වීණ උගතුන් විසිනුදු පිළිගෙන තිබෙන සැටි හෙළි වෙයි. විශුද්‍ධිමාර්‍ගය විමසීමෙන් කියවන විට මෙය මැනැවින් පෙනෙයි. මේ කර්‍තෘවරයා වෛදික ග්‍ර‍න්ථ විෂයෙහි පරතෙරට පැමිණියෙකු බවත් මානව ධර්‍ම ශාස්ත්‍රාදි විද්‍යාවිෂයෙහි ප්‍ර‍වීණයෙකු බවත් සර්‍වවාදවිෂයෙහි විශාරදයකු බවත් විද්‍යාශිලපකලාවෙදියකු බවත් සුප්‍ර‍සිද්ධ ය.

 

“බොධිමණ්ඩසමීපම්හි - ජාතො බ්‍රාහ්මණමාණවො

විජ්ජාසිප්පකලාවෙදී - තීසූ වෙදෙසු පාරගෙ

සම්මවිඤ්ඤාතසමයො - සබ්බවාදවිසාරදො

වාදත්‍ථි ජම්බුදීපම්හි - ආහිණ්ඩන්තො පවාදිකො”[30]

 

යනාදි මහාවංසාගත වචනයෙන් ඒ බව පැහැදිලි වෙයි. මේ මහාවංසාගත ප්‍ර‍වෘත්තිය කෙරෙහි විශ්වාසය නො තබන ඇතැම් කෙනෙක් බුදුගොස් හිමිතුමා බ්‍රාහ්මණ ජාතිකයෙකු කොට ද නො සලකති. අම්බලම්ගොඩ අග්ගාරාමාධිපති පොල්වත්තේ බුද්ධදත්ත මහාස්ථවිරපාදයන් වහන්සේ මේ මතයෙහි පෙරැගැමි වන සේක.

 

“මෙහිද මතුවෙන කාරණයක් නම් ඉතා වැඩිදෙනෙකුන් විසින් පිළිගෙන තිබෙන බුද්‍ධඝොස බ්‍රාහ්මණයක යන අදහස බිඳවැටීම යි. එතුමා ගේ අටුවාවල බ්‍රාහ්මණයන්ට එල්ලකර තිබෙන උපහාසයන් බලන විට ඒවා බ්‍රාහ්මණ ජාතියෙහි උපන්නකු විසින් කියහැකියි පිළිගැනීම අපහසුය. බමුණන්ගේ කෑදරකම පෙන්වීම සඳහා ආහාරහත්‍ථක, අලංසාරක, භුත්තවමිතක, තත්‍ර‍වට්ටකාදි වචනවලට විස්තර දී තිබෙන සැටි දන්නෝ ඒ විස්තරය බ්‍රාහ්මණවාශිකයකු විසින් ලිය හැකි ය යි නො පිළි ගනිත්. එවැනි තැන් බොහෝ වෙති.”[31]

 

මේ වනාහි උන්වහන්සේ ගේ ප්‍ර‍කාශකයෙකි. බුද්‍ධඝෝෂ හිමි තුමන් ගැන මෙවැනි ප්‍ර‍කාශයක් කිරීමට භදන්ත බුද්ධදත්ත මහතෙරපාණන් ධෛර්‍යවත්වූයේ කරුණු දෙකක් මත බව පෙනේ. එකක් නම් බුදුගොස් හිමිතුමා ලේඛනයෙහි දක්‍ෂයෙකු වන බැවින් කායස්ථ ගෝත්‍රිකයකු බව පිළිගැනීම ය. අනෙක නම් බමුණකු විසින් බමුණන් උපහාසයට ලක්කිරීම නො පිළිගැනීම ය. මේ කරුණු දෙක ප්‍ර‍බල සාධකයක් ලෙස විවේචන බුද්‍ධිය ඇතියන් පිළිගනිති යි නො හැඟේ. මෙයින් ප්‍ර‍ථම කාරණය සමර්‍ථනය කිරීමට බුද්‍ධඝෝෂ නාමයෙහි සඳහන් ඝොෂයන් වඞ්ගදේශයෙහි බැවහර වන අරවන්‍දඝොෂ් නාමයෙහි ඝොෂ් වර්‍ගයා කායස්ථ ගෝත්‍ර‍යට අයත් යැ යි අසා තිබෙන බව ද දක්වති. කායස්ථ යන්නට අර්‍ථ දෙන ඇල්.ආර්. වාඩියා (ඇම්.ඒ.ඇල්.ඇල්.බී.) මහතාගේ පිහිට ද සොයති. අපේ මහාවංශයෙහි පැනෛන බුද්ධඝෝෂ ප්‍ර‍වෘත්තිය ගැන සැකකරන මේ බුද්ධදත්ත මහතෙරපාණෝ තුලනාත්මක ඝොෂ් ව්‍යවහාරය ගැනත් කායස්ථගොත්‍රිකයන්ගේ ලෙඛකත්‍වය ගැනත් ඇදහීම් තබා වැඩිදෙනා පිළිගත් මතයට පහර දෙති. උගතුන් හාස්‍යයට පත්කරන අගනා සපන්කමෙකි. ස්වජාතියකු ස්වජාතියකුට උපහාස කිරීම නො පිළිගන්නා බුදුදත් හිමියන් බමුණකු විසින් බමුණන්ගේ නොමනා පැවැත්මට පහරදීම නොපිළිගත හැකියැ යි පවසමින් බුදුගොස් හිමියන් බ්‍රාහ්මණයකු නො වන බව තීරණය කිරීම තරම් සපන්කමෙක් තවත් වේද? මේ කරුණු දෙකෙහි ප්‍ර‍බලත්‍වයක් නැති බව නුවණැතියනට මේ අනුසරින් සිතාගත හැකිය. තර්‍කකරන්නන් මේ විෂයෙහි ලා යොදන සාධකයන් මෙහිලා දැක්වීමෙන් බුදුදත් හිමි වනයට නොහරසරත් පෑමට මගේ අදහසෙක් නැත. උන්වහන්සේ බුදුගොස් හිමිතුමන් ගැන අන්කිසිවකු විසින් නො සෙවූ තරම් කරුණු සොයා තිබෙන බව හැඟෙන බැවින් එයට හරසර දැක්විය යුතුය. එහෙත් කාගේ නමුත් නො පිළිගත හැකි අදහස් හෙළි පෙහෙළි කොට ලීම උගතුන් විසින් කළ යුතු වැඩෙකි. බ්‍රාහ්මණයන් අතුරෙහි ද ලේඛනයෙහි දක්‍ෂයන් පහළ විය හැකි බැවින් ද, බ්‍රාහ්මණයකු විසින් ම බමුණන්ට උපහාස කරනු සිදු විය හැකි බැවින් ද බුදුදත් හිමියන් දැක්වූ කරුණු අනුවැ බුදුගොස් හිමි තුමා ගේ බ්‍රාහ්මණත්‍වය ප්‍ර‍තිෂේධ නො වෙයි. පෙළෙහි සඳහන් ඵාසුවිහාරාදී වචනවලට හෙළටුවාවෙහි සඳහන් විස්තරය පාළියට නො පෙරැළීමට තරම් ලාමක කුලමල අවුලක් බුදුගොස් හිමිතුමන් කෙරෙහි ආරෝපනය කිරීම නම් මහාපරාධයක් බව කියයුතැ වැ තිබේ.

 

බුඬඝෝෂපාදයන් ගේ කායවිච්ඡෙදවිද්‍යාවිෂයකබුද්‍ධිය විශුද්‍ධිමාර්‍ගයෙහි සඳහන් දෙතිස්කුණපයන් පිළිබඳ වැ කරන ලද විවරණයෙන් පැනෙන බැව් ප්‍ර‍වීණයන්ගේ අදහස ය.[32] විශුද්‍ධිමාර්‍ගයෙහි සඳහන් මේ විවරණය හෙළටුවාවෙහි නො තුබුණක් නම් මේ අදහස තරමක් දුරට පිළිගැනීමට ඉඩ තිබේ. බුදුගොස් හිමිතුමන් පතඤ්ජලීයෝගශාස්ත්‍ර‍ය මැනැවින් දැන සිටි බැවින් ශරීරය පිළිබඳ විවිධ අවයවයන් කෙරෙහි දැනීමක් පැවැති බව කිය හැකිය. පුද්ගලයන් ගේ චරිතවිභාගය පරමත දූෂණය කරමින් විශුද්‍ධි මාර්‍ගයෙහි දක්වන ලද බැවින් ද, යෝගශාස්ත්‍රාභ්‍යසය ලත් බැවින් ද, ලක්‍ෂණශාස්ත්‍ර‍විෂයෙහි ද දැනීමක් උන්වහන්සේට පැවැති බව පැනෙයි. මෙසේ මෙහි කර්තෘවරයා විවිධ ශාස්ත්‍ර‍යන් පිළිබඳ පැතිරැගත් බුධිප්‍ර‍භාවයකින් බැබළුණු බව කිය යුතු ය.

 

මෙහි කර්‍තෘ දඹදිවැ බෝමැඩට නුදුරු ඝොෂ නම් ග්‍රාමයෙහි බමුණු කුලයෙකැ උපන් බවත් වාදයෙහි දක්‍ෂ වූ රෙවත නම් මහතෙරපාණන් වෙත පැවිදි වූ බවත් ප්‍ර‍සිද්ධ ය. රේවත තෙරනමක් ගැන බුද්ධඝොෂාචාර්‍යතුමා කිසි තැනක සඳහන් නො කරයි. එය එතුමා ගේ ගුරුවරයා ගේ නම යයි කියන්නේ මහාවංශය පමණයි. මහාවංශවාර්‍තාව ජනශ්‍රැතියෙන් ලියූ ඇතැම් අසත්‍ය කරුණුවලින් යුක්ත බව පෙන්වීමට (තවත් කරුණුවලින් යුක්තබව පෙන්වීමට[33]) වයත් කරුණු ඇත්තාහ.”[34] යනු පවසමින් පොල්වත්තේ බුද්ධදත්ත මහාස්ථවිරපාදයන් වහන්සේ රේවත මහතෙරුන් බුද්ධඝොෂාචාර්‍යපාදයන් ගේ ගුරුවරයා බව නො පිළිගන්නා සේක. මහාවංශවාර්‍තාව ද අසත්‍ය බව පිළිගන්නා සේක. එහෙත් උන්වහන්සේ බුදගොස් හිමිතුමන්ගේ ගුරුවරයා කවරෙක්දැ යි නො කියන සේක. මෙවැනි නිගමනයකට බැසගැනීමට බුදුදත් හිමියන් සාධක කොට ගත් කරුණු ද ප්‍ර‍බල නොවෙති. ගුරුවරයා ගේ නම අතවැසියා විසින්ම කියයුතු යැ යි සම්මතයෙක් ලොවැ නැති බුදුගොස් හිමිතුමන් සිය ගුරුවරයාගේ නම නොකී පමණින් එය කී මහාවංශවාර්‍තාව ද අසත්‍ය යැයි කීමට තරම් සැහැසිවීම කරුණු නො කරුණු දත් බුද්ධපුත්‍ර‍යකුහට තරම් නොවේ. මේ බුද්ධඝොෂාචාර්‍යතුමා මුලින් සර්‍මස්තිවාදී නිකායට අයත් වැ සිට මෙහි පැමිණියාට පසු ස්ථවිරවාදය ඉගෙන ථෙරවාදයකු වූ බව ඇතැම් විවේචකයන්ගේ පිළිගැනීමයි. මේ ගැන යම්කිසි අදහස් පැවසීමට තරම් කරුණු අපට තවම හමු නොවූ බැවින් නිහඬවම්හ. බුදුගොස් හිමිතුමන් ලෝකෝත්තරවාදියකු සේ හඟවන්නට තැත්කළ ආචාර්‍ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතාට කොටහේන ප්‍ර‍ඥකීර්‍තති ස්ථවිරපාදයන් වහන්සේ විසින් දී තිබෙන පිළිතුර[35] පමණ වන බැවින් ඒ ගැන ද යමක් මෙහි නො කියම්හ.

 

අනුබුඬ බුධඝෝෂාචාර්‍යපාදයන් වහන්සේ මෙහි පැමිණි වකවානුව අනුරාධපුරය රාජධානිය කොට ගත් කාලතත්ත්‍වය මහානාම මහීපාලයන් ගේ රාජ්‍යසමයට අයත් බව මහාවංශාදි වංශකථාවන්ගෙන් ව්‍යක්ත වෙයි.

 

මහාවංශයෙහි එන බුද්ධඝෝෂප්‍ර‍වෘත්තිය මුලපටන් ම දැක්වීම ප්‍ර‍පඤ්චයට ඉවහල් වන බැවින් එහි එක් ගාථාවක් පමණක් මෙහි දක්වම්හ.

 

“එව වුත්තෙ පසන්නො සො - නික්ඛමෙත්‍වා තතො ඉමං

දීපමාගා ඉමස්සෙව - රඤ්ඤො කාලෙ මහාමතී”[36]

 

යන මේ ගාථාවෙන් පැවැසෙන පරිදි බුදුගොස් හිමියන් මෙහි පැමිණි බවට කිසිදු සැකයක් නැති මෙහි “පසන්නො සො මහාමති” යන පදවලින් බුදුගොස් මාහිමියන් අදහස් කරන බවද, “ඉමස්සෙව රඤ්ඤො කාලෙ” යන පදවලින් මහානාමරාජසමය අදහස් කරන බව ද අමුතුවෙන් පැහැදිලි කළ යුතු වේ. කාරණය නො පැහැදිලි බැවිනි.

 

ඔහු මල් මහානාම රජ දෙවිසි හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. එකල බුඬඝෝෂ නම් අටුවා කර්‍තෘන්වහන්සේ දඹදිව සිට මේ ශ්‍රී ලඞ්කාද්‍වීපයට වැඩ බුදුන් වදාළ දෙලක්‍ෂ පන්සැත්තෑදහස් දෙසිය පනස් ග්‍ර‍න්‍ථ සංඛ්‍යාවක් ඇති ආගමයට තුන්ලක්‍ෂ එක්සැටදහස් සත්සිය පනස් ග්‍ර‍න්‍ථ සංඛ්‍යාවක් පමණ අටුවා කථා ලියා ආගමයෙ පහන් නැගුසේකැයි දතයුතු”[37]

 

යන මේ මයූරපාදපරිවෙණාධිපති බුද්ධපුත්‍ර‍යන් වහන්සේ ගේ ප්‍ර‍කාශනයෙන් ඒ බව මැනැවින් හෙළි වෙයි.

 

“පායන්තස්ස සකලං - ලඞ්කාදීපං නිරබ්බුදං

රඤ්ඤො සිරිනිවාසස්ස - සිරිපාලයසස්සිනො

සමවිසතිමෙ ඛෙමෙ - ජයසංවච්ඡරෙ අයං

ආරද්ධා එකවිසම්හි - සම්පත්තෙ පරිනිට්ඨිතා”[38]

 

යන මේ අර්‍ථකථාචාර්‍ය බුඬඝෝෂ වචනයෙන් යටකී මතයට විරුද්‍ධ අදහසක් පැවැසෙන බව කියති. මෙහි දැක්වුණු රජතුමා සිරිනිවාස නම් වන බව මෙයින් අදහස් කළ බැවිනි. මේ ගැන ස්වමතය පවසන භදන්ත බුධද්‍ධදත්ත මහාස්ථවිරපාදයෝ:-

 

“සිරිනිවාස නම් රාජනාමයක් සිංහල රාජාවලියෙහි නො පැනේ. එබැවින් එය මහානාම රජුගේ ම අපර නාමයක් විය හැකැ යි. මා විසින් 1914 දී විශුද්‍ධිමාර්‍ග සංඥාපනයෙහි කියනලද නමුත් ඒ රජුට ඒ නාමය තිබුණේයැයි ඔප්පු කිරීමට සාක්‍ෂ්‍යයක් ලැබෙනතුරු එය පිළිගත නො හැකි බව දැන් මට වැටහේ.”[39]

 

යන්නෙන් මහාවංශ මතයක් පූජාවලිමතයත් සැකයට පාත්‍ර‍ කෙරෙති. මෙයට හේතුව යට කී බුඬඝෝෂවචනයෙන් පැවැසුනු “රඤ්ඤො සිරිනිවාසස්ස” යන දෙපදය යි. මේ සිරිනිවාස නාමය මහානාම රජුට අපරනාමයක් කොට සැලකිය යුතු නොවේ. සිරිපාල යනු අපරනාමයක් කොට සැලකීම වඩා සුදුසුය. විමතිවිනෝදනී ටීකායෙහි :- “සිරිනාවාස්සාති සිරියා නිවාසනට්ඨාන භූතස්ස සිරිපාලනාමකස්ස රඤ්ඤො”[40] යනු සඳහන් වන බැවින් සිරිනාවසස්ස යනු සිරිපාල යන්නට විශේෂණ කොට ගත යුතුය. සිරිපාල යනු මහානාම රජුගේ අපරනාමයක් බව මෙයින් හැඟෙයි. “බුදුදාස තරිපලි මහනමික ජෙටතස” යන තිස්සමහාරාමයේ මහඅකුරුගොඩ සෙල්ලිපිය ගෙන ඇරැපාමින් පණ්ඩිත මැදඋයන්ගොඩ විමලකීර්‍තති මහ ස්ථවිරපාදයෝ තරිපලි යනු සිරිපාල යන්නම බව නිගමනය කෙරෙති.[41] එසේම සිරිනිවාස යනු මහානාම රජුට යෙදූ ගුණපදයක් බව ද උන්වහන්සේ ගේ අදහස යි. ඒ අදහස විමතිවිනොදනී වචනයේ ස්ථිර වෙයි. කරුණු මෙසේ හෙයින් මහානාම රජුට සිරිනිවාස යනු අපරනාමයක් නො වැ ගුණපදයක් බවත් සිරිපාල යනු අපරනාමය බවත් සලකනු මැනැවි. සිරිපාල සරිපාලි තරපි යනු විසින් වාග්විද්‍යානුසාරයෙන් සිදුවිය හැකි ය. මහානාම රජතුමා ගේ රාජ්‍යසමය බු:ව: 954 වැන්නෙන් පටන් ගෙන බු:ව: 976 වැන්නෙන් අවසන් වන බව ඇතැම් කෙනෙකුන්ගේ මතය වුවත් බු:ව: 953-975 තෙක් පැවැති කාලය බව මහාවංශයෙහි වර්‍ෂ සංඛ්‍යාව හා සංසන්දනය කරන විට පෙනේ. බුරුම රටෙහි පවත්නා සාසනවංස නම් ග්‍ර‍න්‍ථයෙහි හා මහාරාජවංස නම් ග්‍ර‍න්ථයෙහි සඳහන් පරිදි බු:ව: 930 වැන්නෙහිදී බුධඝෝෂ මාහිමියන් මෙහි පැමිණි බව පිළිගත හොත් මහානාමරාජ්‍යසමසයෙහි පැමිණි බව පිළිගැනීමට ඉඩෙක් නැත බු:ව: 915 වැන්නෙහි මහානාම රජතුමා රජයට පැමිනි බව බුරුමරට පවත්නා වංසාදීපනි නම් ග්‍ර‍න්‍ථයෙහි සඳහන් වන බැවින් ද, ඒ රජහු ගේ රාජ්‍යයෙන් පසළොස්වසකට පසු බුදුගොස් මාහිමියන් මෙහි පැමිණි බව එහි ම සඳහන් වන බැවින් ද බු:ව: 930 වැන්න ම බුඬඝොෂප්‍රාප්තියට සම්බන්‍ධ වෙයි. කල්‍යාණී ශිලාලිපියෙහි බුරුමසන්නයේ සඳහන් වන බු:ව: 903 වැන්න බුඬඝෝෂප්‍රාප්තිය වූ වර්‍ෂය සේ පිළිගතහොත් මහානාමරාජ්‍ය සමයෙහි පැමිණි බව කියන කථාව බැහැරට ම යෙයි. බු:ව: 903 වැන්න බු:ව: 953 වැන්න වෙනුවට ලියැවුනු ප්‍ර‍මාද ලිපියක් සේ පිළිගත හොත් මහාවංශමතය ම සමර්‍ථනය වෙයි. එය පිරික්සීමට අවස්ථාවක් අපට නො ලැබුණු බැවින් පරීක්‍ෂකයන් විසින් ඒ ගැන විමසීමක් කළ යුතු බව කියම්හ. නිකායසංග්‍ර‍හයෙහි එන බුඬවර්‍ෂ සංඛ්‍යාව හා සසඳා බලන විට ද මහාවංශමතයම ස්ථිර වෙයි. ක්‍රි:ව 468-490 තෙක් මහානාමරාජ්‍යසමය පැවැති බව පිළිගන්නා වික්‍ර‍මසිංහමතයට ගයිගර් පඩිතුමා තදින් පහර දී මහාවංශයමතයම තහවුරු වන සේ ක්‍රි:ව: 409-431 තෙක් පැවැති කාලය මහානාම සමය බව දක්වයි. එහෙත් විශුද්‍ධිමාර්‍ග මහාසන්‍ය ප්‍ර‍ස්තාවනාවෙහි අධෝලිපියෙකැ එන “ගයීගර් මතය නම්: - මහානාම කාලය ක්‍රි:ව: 458 සිට 480 දක්වා යි. බු:ව: 1001 සිට 1023 දක්වා යි[42] යන ප්‍ර‍කාශනය කොතැනින් ලබාගත් කරුණු අනුවැ කරන ලද්දක් දැයි අපට කිය නොහැකි ය. මෙය ගයරිගර්මතය නම් චූලවංස සංඥාපනයෙන්[43] වික්‍ර‍මසිංහමතයට පහර ගැසීමට කිසිසේත් අවශ්‍යකමෙක් නැති. ඉතා නවීනමතය නම් ක්‍රි:ව: 406-428 තෙක් පැවැති කාලය මහානාමසමය බව යි. මේ මතය දක්වන ලද්දේ ටැම්ගොඩ විහාරටැම් ලිපියට අනුවැ රාජවර්‍ෂසංඛ්‍යාව ගැන ප්‍ර‍ශස්ත විවේචනයක් කළ ආචාර්‍ය සෙනරත් පරණවිතාන මහතා විසිනි.[44] මේ මතයේ හැටියට මහානාම කාලය බු:ව: 949-971 තෙක් පැවැති කාලය බව හෙළි වෙයි. මෙය මහාවංශය මතයට හවුරුදු හතරකින් අඩු කාලපරිච්ඡේදයෙකි. බු:ව: 953-975 තෙක් පැවැති කාලය මහාවංශමතය බව මුලදී කීම්හ. බොහෝ කරුණු පරීක්‍ෂා කොට දක්වන ලද පරණවිතානමතය මහාවංශය මතයට එතරම් මහත් වෙනසක් නැති බැවින් මහානාම සමය පරණවිතාන මතය පරිදි පිළිගැනීමෙහි වරදෙක් අපට දැනට නම් නො පෙනේ. සුප්‍ර‍කට චීනයාත්‍රික ඵාහියන්තුමා ක්‍රි:ව: 410 වැන්නෙහි මෙහි පැමිණි බව පිළිගත්මතය වන බැවින් එතුමා ද මහානාම රාජසමයෙහි ම පැමිණි බව පිළිගත යුතු ය. බුද්ධඝොෂාචාර්‍ය්‍යතුමා මෙහි පැමිණි වර්‍ෂය සඳහන් නැතත් ඵාහියන්තුමාට පසුවැ පැමිණි බව සිතාගත හැකි ය. ඵාහියන්ගේ ගමන් විස්තරයෙහි බුඬඝොෂාචාර්‍යතුමන් ගැන කිසිවක් නො සඳහන් වන බැවිනි. පූර්‍වෝක්ත ශිලාලිපියේ පාඨයෙන් සිරිපාල යනු මහානාම රජුගේ අපරනාමයක් බව දැක්වෙන බැවින් ද විමතිවිනෝදනී පාඨයෙන් සිරිපාල යනු රජකු ගේ නම්ක බව දැක්වෙන බැවින් ද, සමන්තපාසාදිකා නිගමනගාථාවෙහි සිරිපාල යනු බුදුගොස් මාහිමියන් විසින් ම සඳහන් කළ බැවින් ද උන්වහන්සේ මහානාම රාජ්‍යසමයෙහි මෙහි පැමිණිබව අපගේ ඒකාන්ත නිගමනය යි බුදුගොස් මාහිමියන් මෙහි පැමිණ හෙළඅටුවා පෙළබසට පෙරැලීමත් විශුද්ධිමාර්‍ගසම්පාදනය කිරීමත් විනා උන්වහන්සේගේ ජීවන චරිතයක් හෝ භ්‍ර‍මණවෘත්තාන්තයක් හෝ තමන් විසින් ම ලියන ලද බවක් අපට දැනගන්නට නැත. එබැවින් සිය ගුරු දෙගුරු නෑ නො නෑ හිතමිතුරන් ගැන හෝ මෙහි එවකට පැවැති දළදා පෙරහැර වැනි කරුණු ගැන හෝ අටුවා පොත්වල හෝ විශුද්ධිමාර්‍ගයෙහි හෝ යමක් සඳහන් නො වීම විවේචනයට කරුණු කෙට ගැන්මට යාම ප්‍ර‍ඥාගෝචර නොවේ. කරුණු මෙසේ හෙයින් මේ කාරණය ගැන පොල්වත්තේ බුද්ධදත්ත මහතෙරපාණන් විසින් සියගත්හි[45] පවසන ලද කරුණු අමුතු යමක් කීම පරම කොට ගෙන ලියනලද සේ අපට හැඟෙයි. එහෙයින් විමර්‍ශකයන් විසින් ඒ කරුණු නුවණින් විමසා ම පිළිගතයුතු බව කියම්හ.

 

පොත්පත්වල සඳහන් කරුණු අනුවැ බුදුගොස් මාහිමියන්ගේ වාසය කීපතැනෙක්හි වූ බව පෙනේ. අපේ වාසස්ථානය මහාවංශයෙහි දැක්වෙන පරිදි දඹදිව මහබෝමැඬ සමීපයෙහි බුදුගොස් හිමිතුමන් උපන් බව කිය හැකි ය. මහාබොධිමණ්ඩයට දකුණුදිගැ බහුණුගමෙකැ උපන්බව සද්ධම්මසඞ්ගහ නම් ග්‍ර‍න්ථයෙහි ද මහබෝමැඬට නුදුරෙහි වූ ඝෝෂ නම් ග්‍රාමයෙහි බමුණුකුලයෙකැ උපන් බව බුද්ධඝොසුප්පත්තිකථාවෙහි ද, රාමඤ්ඤරට සුධම්මපුරය අසල ගෝළ නගරයෙහි උපන්බව වංසදීපනියෙහි ද සඳහන් වේ. මෙතෙක් කියන ලද්දේ උන්වහන්සේගේ ජන්මභූමිය ගැන කරුණු ය. උන්වහන්සේ බ්‍රාහ්මණජාතිකයකු වුවත් කායස්ථ ගෝත්‍රිකයකු වුවත් රාමඤ්ඤජාතිකයකු වුවත් ආන්ධ්‍ර‍ජාතිකයකු වුවත් ජන්මභූමිය දඹදිවට අයත් නගරයක් හෝ ගමක් හෝ විය හැකි ය. ගයාප්‍රදේශයත් වඞ්ගජනපදයත් රාමඤ්ඤදෙශයත් ආන්ධ්‍රදෙශයත් පුරාණ ජම්බුද්‍විපයට ම අයත්වන බැවිනි. මෙවැනි විචාරණයක් කිරීම විචාරකයකු හට තරම් නො වන බැවින් මේ ගැන තවත් විමසිය යුතු වැ තිබේ. එසේ විමසීමෙහිදී බුද්ධඝොෂජන්මභූමිය මොරණ්ඩචේටක නම් ග්‍රාමය බව පිළිගැනීමට සිදු වෙයි. මේ විශුද්ධිමාර්‍ගයෙහි ම අවසන්හි දැක්වෙන “විපුලවිසුද්ධබුද්ධිනා බුද්‍ධඝොසොති ගරූහි ගහිතනාම ධෛය්‍යෙන ථෙරෙන මොරණ්ඩචෙටකවත්‍ථබ්බෙන කතො විසුද්ධිමග්ගො නාම” යන පාඨයෙි සඳහන් මොරණ්ඩ චෙටක යන වචනය විචාරකයන්ගේ විමර්‍ශනයට ලක්වී තිබේ.

 

මෙහිලා භදන්ත ශ්‍ර‍ද්‍ධාතිෂ්‍ය මහාස්ථවිරයන් වහන්සේගේ අදහස නම් මොරණ්ඩචෙටකවත්‍ථබේබන යනු ද මයූරරූපපට්ට නම්භි වසන්තෙන යනුද සමානාර්‍ථ ඇති බවයි.[46] මෙහි “චෙටක” යනු වරද බවත් ඛෙටක යනු නිවරද බවත් පිළිගත් නවීන මතයයි. මේ මතයට අනුවැ “මොරණ්ඩචෙටක” යනු මොරණ්ඩ ඛෙටක යැයි ශුද්‍ධ විය යුතුය. මෙසේ ගත් කල්හි මේ “මොරණ්ඩඛෙටක” යන ස්ථානය ආන්ධ්‍රදේශයෙහි ගමක් බව පිළිගත යුතුය. මේ ගැන පරීක්‍ෂණයක් කළ ඇස්.පී. නයිනාර් (බී.ඒ) මහතාගේ ඉංග්‍රීසි ලිපියකට අනුවැ පොල්වත්තේ භදන්ත බුද්ධදත්ත මහස්ථවිරයන් වහන්සේ පාළිසාහිත්‍යයෙහි දක්වන ලද්දේ මෙරණ්ඩඛෙටක යනු ම ශුද්‍ධපාඨය බවයි. ආන්ධ්‍ර‍දෙශයේ ‘ගුන්ටූර්’ දිස්ත්‍රික්කයේ ‘පාල්නාඩ්තලුක්’ පෙදෙසෙහි ‘කෝටනේමලිපුරි’ – ‘ගුන්ඩ්ලපල්ලී’ යන ළඟ පිහිටි ගම් දෙක පැරැණි මොරඩ්ඩඛෙටකය බව එයින් පැවැසේ.[47] මෙහිලා ධර්‍මනන්‍ද කොසම්බි පඬිතුමාගේ අදහසක් බලංගොඩ භචන්ත ආනන්‍ද මෛත්‍ර‍ය මහාස්ථවිරයන් වහන්සේගේ සාහාය්‍යයෙන් ඉදිරිපත් කිරීමට ලැබුණු බැවින් එය ද දක්වම්හ.

 

“තලෙයි ජාතිකයෙක් වූ බුද්ධඝොෂතුමා බුරුමයේ Thaton පෙදෙසින් ලක්දිවට පැමිණියේ යැයි බුරුමකාරයෝ කියත් මෙහි කිසියම් සත්‍යයෙක් ද වෙයි. එතුමා බුරුමයේ තේලාංගයකු නොව දකුණු ඉන්දියාවේ තෙලුඟුරටට අයත් තේලංගුයකුයෙකැයි මම සිතමි. එතුමා උපන් පෙදෙස මොරණ්ඩඛෙටක යැයි විසුද්ධිමග්ගයෙන් පෙනේ. ‘මොරණ්ඩඛෙටකවත්‍ථබේබන’ යන්නෙන් එය හැඟේ. .............. ‘ඛෙටක’ යනු සකුබසින් ගමට නමි. දකුණු ඉන්දියාවේ දෙශීය භාෂාවල අද මෙය ඛෙඩා යැයි බැවහර වේ. මජ්ඣිමනිකායට්ඨකථාවේ අග කර්‍තෘසන්‍දර්‍ශක ගාථාවෙක මයුරසුත්තපට්ටන හෝ මයූරරූපපට්ටන හෝ සඳහන් වන බැවින් එතුමා එහි විසූ බව දැක්වේ.”[48]

 

මේ වනාහි ධර්‍මානන්‍ද කොසම්බිතුමාගෙ ලිපියෙකින් කොටසෙකි. මෙයිනුදු මොරණ්ඩඛෙටක යන්න ශුද්ද්‍ධපාඨය සේ පැනේ. ඛෙටක ශබ්දය ග්‍රාමවිශෙෂාර්‍ථයක් දෙන බව ශබ්දාර්‍ථ පාරිජාතයෙහි සඳහන් වේ. ඛෙට යනු කර්‍ෂකග්‍රාමයක් බව “‍ඛෙටා: කර්‍ෂකග්‍රාම:” යන ශ්‍රීධරවචනයෙන් හෙළි වෙයි. ‘ඛෙට’ යනු ම ‘ඛෙටක’ යැයි ගැනීම සුදුසු වන්නේ ඛෙටක ශබ්දයෙන් පොල්ල ද පැවැසෙන බැවිනි. කර්‍ෂකයන්ගේ ගම්වලට මේ ඛෙට නාමය අවිශේෂයෙන් යෙදෙන බවත් ඛෙටක යන්නෙන් ග්‍රාමවිශේෂයක් පැවැසෙන බවත් දතුවකු විසින් ‘මොරණ්ඩචෙටක’ යනු මෙරණ්ඩඛෙටක යැ යි ශොධණය කරනු විස්මයෙක් නොවේ. මෙහි චෙටක ශබ්දයෙන් නායක විශෙෂ-දාස-ඉන්‍ද්‍ර‍ජාලවි්‍යාදී අර්‍ථයන් පැවැසීමට ශක්තිය ඇති බැවින් තවත් විදග්ධ කෙනෙකුන් විසින් මොනරබිජුවකින් ඉඳුරුදැලියම් කළවුන් වූසූ බැවිනි හෝ මුරණුඩු නම් නායකයා වුසූ බැවින් හෝ එගම මෙරණ්ඩඛෙටක නම් වී යැයි කර්‍තකරනු නිසැකය. කරුණු මෙසේ හෙයින් ‘මොරණ්ඩචෙටක’ වුවත් ‘මෙරණ්ඩඛෙටක’ වුවත් ඉන් ගමක් ම පැවැසෙන බව පිළිගත හැකිය. එහි උපන් බව පිළිගැනුමට තුඩු දෙන වත්‍ථබ්බ ශබ්දය එහි වූෂු බව පිළිගැනුමටද ඉඩ දෙන බැවින් එයින්ම බුදුගොස් මාහිමියන්ගේ ජන්මභූමිය තීරණය නොකළ හැකිය. උන්වහන්සේගේ ජන්මභූමිය කෙසේ වුවත් වසන ලද තැන් විසින් මෙහි දක්වන ලද මොරණ්ඩචෙටකයත් මයූරරූපපට්ටනයත් පිළිගත යුතුය. මේ දෙක එකක් නොවන බව නම් හැඟෙයි. මනොරථපූරණියෙහි[49] සඳහන් පරිදි භදන්ත ජොතිපාල මහතෙපාණන් සමග කාඤ්චීපූරාදීයෙහි ද ලක්දිව මහාවිහාරයෙහි ද විසූ බව පිළිගත යුතුය. උන්වහන්සේගේ ග්‍ර‍න්‍ථවලින් ම මෙතැන් පැවැසුණු බැවිනි.

 

මේ ග්‍ර‍න්‍ථ සම්පාදනයෙහි දී අනුබුදු බුදුගොස් මාහිමියන් පස් මහ සඟිය ම ඇසිරි කළ බව මැනැවින් පෙනේ.

 

ආශ්‍රිත ග්‍ර‍න්‍ථ හෙළටුවාවෙන් ද මිළින්‍දපඤ්හය ද විමුත්ති මග්ගය ද දර්‍ශනශාස්ත්‍රීය ග්‍ර‍න්‍ථයන් ද ඇසිරිකළ බව හෙළිවන තැන් ද දක්නට ලැබේ. මෙහි ශීලනීර්‍දෙශය සංයුත්තනිකාය ද ඛුද්දකනිකායට අයත් ධම්මපදය ද පටිසම්භිදා මග්ගය ද සුත්තනිපාතය ද පරිවාරපාළිය ද මහානිදේදසය ද ථෙරගාථාව ද අපදානය ද උදානය ද මජ්ඣිමනිකාය ද, දීඝනිකාය ද අඞ්ගුත්තර නිකාය ද ඇසිරිකරමින් සම්පාදනය කළ බව පෙනේ. මේ ශීලනිර්‍දෙශයෙහි පැනෙන “සීලෙපතිට්ඨාය” යනාදි ගාථාව හා “අන්තොජටා බහිජටා” යනාදි ගාථාව සංයුත්තනිකායාගත දේවතාසංයුත්තකයෙහි ද, විශුද්ධිමාර්‍ගය නම් කිමෙක්දැයි විවරණය කිරීමට මෙහි දක්වන ලද “සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති” යනාදි ගාථාව ධම්මපදපාළියෙහි මග්ගවග්ගයෙහිද, ශීලය නම් කිමෙක්දැයි හෙළි කිරීමට මෙහි දැක්වුණු “කිං සීලන්ති චෙතනා සීලං” යනාදී විවරණය පටිසම්භිදාමග්ගපාළියෙහි ද ශීලයෙහි අනුසස් පෑමට ඇරැ දැක්වුණු පාළිප්‍රදේශයන් සංයුත්ත නිකාය අඞ්ගුත්තර නිකාය මජ්ඣිමනිකාය යන පිටකග්‍ර‍න්‍ථයන්හි ද, ඥානසංවරය කිමෙක්දැයි හෙළි කිරීමට පැවැසු යානි සොතානි ලෝකසමිං” යනාදි ගය සුත්තනිපාතපාළියෙහි ද, විනයෙහි ප්‍රයොජනය පැහැදිලි කිරීමට ඇරැ පෑ “විනොයා සංවරත්‍ථාය” යනාදි පාඨය පරිවාරපාළියෙහි ද, භික්‍ෂුන්ගේ කායික - වාචසික ආනාචාරය හෙළි කිරීමට දැක්වුණු “දුවිධොහි අනාචාරො කායිකො වාචසිකො ච” යනාදිය මහානිදේදසපාළියෙහි ද, ආහාරානුභවවිධිය පෑමට ඇරැ දැක්වූ “චත්තාරො පඤ්ච ආලොපෙ” යනාදි ගය ථෙරගාථාපාළියෙහි ද සිල් රැකිය යුතු ක්‍ර‍මය පෑමට දක්වන ලද “කිකීව අණ්ඩං චමරීව චාලධිං” යනාදි ගය අපදානපාළියෙහි ද, වාග් විඥප්තිවිෂඵාරයෙන් උපන්මධුපායාසය ද ආජීවයට විපත්තිජනක යැයි ධම්සෙනෙවි සැරියුත් මාහිමියන් වදා “වචීවිඤ්ඤත්ති විප්ඵරා” යනාදි උදානය උදානපාළියෙහි ද, ධම්මතාසීලය පැහැදිලි කිරීමට ඇරැ දැක්වුණු “ධම්මතා ඵස ආනන්‍ද! යදා බොධිසත්තො” යනාදිය දීඝ නිකායෙහි ද දක්නට ලැබේ.

 

මේ ධුතාඞ්ග නිර්‍දෙශයෙහි පැනෙන “පංසුකූලචීවරං නිස්සාය පබ්බජ්ජා” යනාදිය මහාවග්ගපාළියෛහි ද, අරණ්‍ය ලක්‍ෂනය පැහැදිලි කිරීමට දැක්වුණු “ඨපෙත්‍වා ගාමඤච ගාමූ පවාරඤ්ච සබ්බමෙතං අරඤ්ඤං” යන පාඨය පාරාජිකාපාළියෙහි ද, පංශුකූලචීවරාදියෙහි අනුසස් දැක්වීම පිණිස ඇරැ දැක්වූ “අප්පානි චෙව සුලභානි ච තානි ච අනව්ජානි” යනාදි වාක්‍යප්‍රදේශ යෝ අඞ්ගුත්තරනිකායවරයෙහි ද, අරණ්‍යවිහරණයෙහි අනුසස් පෑමට පැවැසූ “තෙනාහං නාගිතස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤ විහාරෙන” යනාදිය සංයුත්ත නිකායවරෙයෙහි ද දක්නට ලැබෙති. කර්‍මස්ථානග්‍ර‍හණ නිර්‍දෙශනයෙහි පැනෙන සමාධි විවරණය සඳහා දක්වන ලද “පඨමස්ස ඣානස්ස පරිකම්මං පඨමස්ස ඣානස්ස අනන්තර පච්චයෙන පච්චයො” යනාදිය පට්ඨානපාළියෙහි ද, කල්‍යාණමිත්‍ර‍ත්‍වයෙහි අගය හෙළි කිරීමට ඇරැ දැක්වුණු “මමං හි ආනන්‍ද කල්‍යාණමිත්තං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති” යනාදිය සංයුත්ත නිකායවරයෙහි ද ඇතැවැසියා විසින් ගුරුවරයාට කළයුතු වතාවත් හෙළි කිරීමට දක්වන ලද, “අන්තෙවාසිකෙන භික්ඛවෙ ආචරියමහි සම්මාවත්තිතබ්බං” යනාදි පාඨය මහාවග්ගපාළියෙහි ද දක්නට ලැබේ. පඨවීකසිණ නිර්‍දෙශයෙහෙි පැනෙන කථඤ්ච භික්ඛවෙ සෙනාසනං පඤ්චඞ්ගසමන්නාගතං හොති” යනාදි විවරණය සංයුත්තනිකායෙහි ද, ආභිධම්මික ගෝදත්ත ස්ථවිරමතප්‍ර‍කාශනයනට ඇරැ දැක්වූ “පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං අසෙවන පච්චයෙන පච්චයො” යන පාළිය පට්ඨානයෙහි ද, ක්ලේශ කාමය විවරණය කිරීමට ඇරැ දැක්වූ “ඡන්‍දො කාමො රාගො කාමො ඡන්‍දරාගො කාමො” යනාදිය විභඞ්ගපාළියෙහි ද, උපෙක්‍ෂාවිවරණයට ඇරැ දැක්වූ පාඨසමූහය දීඝනිකාය - සංයුත්ත නිකාය - පටිසම්භිදාමග්ග - අංගුත්තරනිකාය - ධම්මසඞ්ගණී යන පිටකග්‍ර‍න්‍ථයන්හි ද දකින්ට ලැබේ. සෙසුකසිණ නිර්‍දෙශයෙහි ද අසුභකම්මට්ඨාන නිර්‍දෙශයෙහි ද ඡඅනුස්සති නිර්‍දෙශයෙහි ද අනුස්සතිකම්මට්ඨාන නිර්‍දෙශයෙහි ද අඞ්ගුත්තරනිකාය - ධම්මසඞ්ගණී - සංයුත්තනිකාය - මජ්ඣිමනිකායාදි පිටකග්‍ර‍න්‍ථයන්ගෙන් උපුටාගත් පාළිප්‍රදෙශයෝ පැනෙත්.

 

බ්‍ර‍හ්මවිහාර නිර්‍දෙශයෙහි දැක්වුණු “දුට්ඨො ඛො ආවුසො දොසෙන අභිභූතො පරියාදින්නවිත්තො පාණම්පි හන්ති” යනාදිය අඞ්ගුත්තනිකායෙහි ද, ක්‍ෂාන්තියෙහි අනුසස් පෑමට ඇරැ දැක්වුණු “ඛන්ති පරමං තපො තිකික්ඛා” යනාදිය ධම්මපදයෙහි හා සංයුත්තනිකායයෙහි ද, ක්‍රෝධබහුල පුද්ගලයාට අවවාද විසින් දක්වන ලද ධර්‍මකාරණයෝ මජ්ඣිමනිකාය - සංයුත්තනිකාය - අංගුත්තරනිකායාදී පිටකග්‍ර‍න්‍ථයන්හි ද පැනෙති. ආරුප්ප නිර්‍දෙශයෙහි දීඝනිකාය - විභඞ්ගපාළි දෙකින් ද, සමාධි නිර්‍දෙශයෙහි මජ්ඣිමනිකාය - චුල්ලවග්ගපාළි දෙකින් ද, සමාධි නිර්‍දෙශයෙහි මජ්ඣිමනිකාය - චුල්ලවග්ගපාළි දෙකින් ද උපුටා දක්වන ලද පාඨයෝ පැනෙත්. ඉද්ධිවිධ නිර්‍දෙශයෙහි කර්‍මක්‍ෂම චිත්තතත්ත්‍ව දක්වනු පිණිස අංගුත්තරනිකායයෙන් උපුටා දැක්වුණු “නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං” යනාදි ධර්‍මප්‍රදේශය ද, ඉද්ධිවිභාගය හෙළි කිරීම සඳහා පටිසම්භිදාමග්ග පාළියෙන් ඇරැ දැක්වුණු “කතමා දස ඉද්ධියො” යනාදි පාඨය ද, අපණ්ණකපටිපදාව දැක්වීමට අංගුත්තරාගමයෙන් ගෙන ඇරැ පෑ “තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අපණ්ණකං පටිපදං පටිපන්නො හොති” යනාදිය ද, බ්‍ර‍හ්මපර්‍ෂද්හට සෘඬ්‍යභාසංස්කාරයක් බුදුරජාණන් වහන්සේ විසින් කළ බව පෑමට මජ්ඣිමාගාමයෙන් ඇරැ දැක්වූ “අථඛවාහං භික්ඛවෙ තථාරූපං ඉද්‍ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසිං” යනාදි සූත්‍ර‍ප්‍රදේශය ද, සංයුත්තාගමයෙන් ඇරැ දැක්වූ ආයුෂ්මත් මහකප්‍ර‍වෘත්තිය ද ඇතුළත් කොට ඇති බොහෝ පාළිප්‍ර‍දේශයෝ පැනෙත්.

 

අභිඤ්ඤා නිර්‍දෙශයෙහි පටිසම්භිදාමග්ගපාළියෙන් ද අඞ්ගුත්තරා ගමයෙන් ද මජ්ඣිමාගමයෙන් ද උපුටා දක්වන ලද පාඨයෝ වෙති. ස්කන්‍ධ නිර්‍දෙශයෙහි සංයුත්තාගමයෙන් ද විභඞ්ගපාළියෙන් ද, මහානිදේදසපාළියෙන් ද, මජ්ඣිමාගමයෙන් ද ගන්නා ලද පාඨයෝ වෙති. ආයතනධාතු නිර්‍දෙශයෙහි සංයුත්ත නිකාය - විභඞ්ගපාළි යන පිටකග්‍ර‍න්‍ථයන්ගෙන් ද, ඉන්‍ද්‍රියසත්‍ය නිර්‍දෙශයෙහි සංයුත්තනිකාය - ධම්මපද - සුත්තනිපාත - විභඞ්ග අංගුත්තරනිකාය - දීඝනිකාය - මජ්ඣිමනිකාය - ඉතිවුත්තක යන පිටකග්‍ර‍න්‍ථයන්ගෙන් ද උපුටාගත් පාළිපාඨයෝ පැනෙත්. ප්‍ර‍ඥා භූමි නිර්‍දෙශයෙහි පටිච්චසමුප්පාදවිවරණය සංයුත්තනිකායයෙන් ද, මහාවග්ගපාළියෙන් ද, දීඝනිකායෙන් ද, මජ්ඣිමනිකායෙන් ද ගත් ප්‍රදේශයන්ගෙන් සරසා තිබෙනු පැනෙයි. විභඞ්ගපාළියෙන් හා පට්ඨානපාළියෙන් ගත් ධර්‍මප්‍රදේශයෝ සුලභ වැ පැනෙත්. මහානිදේදසපාළියෙන් ගත් කාමසූත්‍රාගත කරුණු ද මෙහි දක්නට ලැබෙත්. දිට්ඨිවිසුද්ධි - කඞ්ඛාවිතරණ විසුද්ධි මග්ගාමග්ඤාණදස්සනවිසුද්ධි-පටිපදාඤාණදස්සනවිසුද්ධි-ඤාණ දස්සවිසුද්ධි- පඤ්ඤාභාවනානිසංස නිර්‍දෙශෂට්කයෙහි ද සංයුත්තනිකාය - මජ්ඣිමනිකාය - පට්ඨනාපාළි - අංගුත්තරනිකාය - ධම්මපද - චූලනිදේදස - මහානිදේදස - විභඞ්ගපාළි යන පිටක ග්‍ර‍න්‍ථයන්ගෙන් උපුටාගත් පාළිප්‍රදේශයෝ පැනෙත්. මෙසේ මේ විශුද්ධිමාර්‍ගසම්පාදනය කිරීමෙහි දී අනුබුදු බුදුගොස් මාහිමියන් පිටකත්‍ර‍යට අයත් ග්‍ර‍න්ථයන්ගෙන් නොයෙක් කරුණු සාධක වශයෙන් උපුටා දක්වන ලද බව මැනැවින් හෙළිවෙයි. ඉක්බිති හෙළටුවා ඇසිරි කළ බවට නිදසුන් කීපයක් දැක්වීම අවශ්‍ය වෙයි. ධුතඞ්ග නිර්‍දෙශයෙහි එන “යො සමාදියති සො පුග්ග ලො, යෙන සමාදියති චිත්තචෙතසිකා එතෙ ධම්මා, යා සමාදානචේතනා තං ධුතඞ්ගං, යං පටික්ඛිපති තං වත්‍ථු” යන පාඨය ද, පඨවිකසිණ නිර්‍දෙශයෙහි එන “මහාවාසං නවා වාසං” යනාදී ගාථාත්‍ර‍ය ද, පඨවිකසිණං උග්ගණ්හන්තො පඨවියං නිමිත්තං ගණ්හාති” යනාදි පාළිප්‍රදේශයෝ ද, “සති ච පන සබ්බත්‍ථිකා චුත්තා භගවතා, කිං කාරණා? චිත්තං හි සතිපටිසරණං, ආරක්ඛපච්චුපට්ඨා ච සති, න විනා සතියා චිත්තස්ස පග්ගහනිග්ගහො හොති” යන පාඨය ද, අසුභකම්මට්ඨාන නිරිදේශයෙහි එන “උඬුමාතකං අසුභනිමිත්තං උග්ගණ්හන්තො එකො අදුතියො ගච්ඡති” යනාදි පාළිප්‍රදේශයෝ ද, අභිඤ්ඤා නිර්දේශයෙහි එන “ආරුප්පෙ පරස්ස චිත්තං ජනිතුකාමො කස්ස හදයරුපං පස්සති” යනාදි පාළිය ද හෙළ මහඅටුවාවෙන් පෙළබසට නඟා ගත්තෝ වෙති. මේ හැර තවත් නොයෙක් කරුණු හෙළඅටුවාවෙන් ගෙන විශුද්ධිමාර්‍ගය සරසා ගත් සැටි පෙනෙයි. මෙහි කර්‍මස්ථාන ග්‍ර‍හණ නිර්දේශයෙහි දැක්වෙන චර්යාවිභාගය හෙළටුවා ඇදුරන්ගේ මාතානුසාරයේ කරන ලද බව බුදුගොස් හිමියෝ දක්වති. උපතිස්ස හිමිතුමන් විමුක්තිමාර්‍ගයෙන් දක්වන ලද චර්‍යාවිවරණයට රුචියක් නො දැක්වූ බුදුගොස් හිමියෝ එයට පහර දෙති[50] මෙහි මිළින්‍දපඤ්හයෙන් ගත් කරුණු ද වෙති. ස්කන්‍ධ නිර්දේශයෙහි එන “දුක්කරං මහාරාජ භගවතා කතං යං අරූපිනං චිත්තචෙතසිකානං ධම්මානං එකරම්මණෙ පවත්තමානානං වවත්‍ථානං අක්ඛාතං අයං ඵස්සො අයං වෙදනා අයං සඤ්ඤා අයං චෙතනා ඉදං චිත්තං” යන මේ පාඨය එයට එක් නිදර්‍ශනයෙකි. සාංඛ්‍ය - යොගදර්‍ශනා දිය පිළිබඳ කරුණු ද මෙහි ප්‍ර‍ඥාභූමිනිර්දෙශයෙහි දක්නට ලැබෙන බැවින් තදීයග්‍ර‍න්‍ථයන් ද ඇසිරි කළ බව සිතිය හැකිය. මේ කාරණය ගැන ප්‍ර‍මාණවත් සටහනක් මුලදී සඳහන් කරන ලද බැවින් මෙහිලා යමක් නො ලියම්හ. ඉතා සියුම් විමසීමක් කළහොත් විශුද්ධිමාර්‍ගසම්පාදනයට ඉවහල් වූ තවත් නොයෙක් ශාස්ත්‍රීය ග්‍ර‍න්‍ථයන් පිළිබඳ සටහනක් තැබිය හැකි බව පෙනෙතත් මෙතෙකින් නවතුම්හ.

 

ඒ මේ විසුද්‍ධිමග්ග නම් ග්‍ර‍න්‍ථරත්නය ථෙරවාදී බෞද්ධයන්ගේ හස්ත සාරවස්තුවක් සේ බෞද්ධලොකයා පරිවාර ග්‍ර‍න්ථ අතරැ ප්‍ර‍චලිත වූ බැවින් එයට නොයේක සන්‍ය-ටීකාදිය ඒ ඒ ආචාර්‍යවරයන් විසින් සම්පාදනය කරන ලද බව කියයුතු ය. මේ ග්‍ර‍න්‍ථයට මුලින් ම ලියන ලද සන්‍ය දෙකක් ගැන පළමු කොට සඳහන් කළයුතු වැ තිබේ. දැනට අප හමුවෙහි පවත්නා විශුද්‍ධිමග්ගටීකායෙහි දැක්වෙන “තස්ස නිස්සාය පොරාණං - කථාමග්ගං අනාකුලං” යනාදි ගාථාවෙන් විශුද්‍ධිමාර්‍ගයට ලියන ලද පැරණි සන්‍යයක් තුබුණු බව හෙළිවෙයි. විශුද්‍ධිමාර්‍ගමහාසන්‍යය නමින් හඳුන්වන පරාක්‍ර‍මබාහුසන්නෙයහි “සැත්හි මැඩිලි හෙළනුවා, යනු සිලි සන්‍යයි”[51] යනු සඳහන් වන බැවින් විශුද්‍ධිමාර්‍ගයට ලියන ලද සිලිසන්‍යයක් පැවැති බව කියති. මේ සිලිසන්‍යය ඉපැරණි හෙළබසින් ලියනලද්දක් නො වන බව “යම් යම් කිසිණාලම්භන යෙක ධ්‍යාන සමවදනා කැමැත්තහ නො ලස්ව එ එ කිසුණු වහා ආවර්‍ජනය ඉපැදවිය හෙනබව ද ධ්‍යානයෙන් නැඟී ධ්‍යානාඞ්ගයන් ප්‍ර‍ත්‍යවෙක්‍ෂාකරන්නහු භවාඞ්ගයෙහි නො ලස්ව භවාඞ්ගයෙන් නැගී චිතර්‍කාදි ධ්‍යානාඞ්ගයෙහි වහා ආවර්‍ජනා පැවැත්විය හෙනබව ද ආවර්‍ජනාවසී නම[52] යනාදි වාක්‍ය ප්‍රදේශයෙන් හැගේ. මේ වාක්‍යය සිලිසන්‍යයෙහි ආ බව සැළකිය යුතු ය. මේ සිලිසන්‍යය විශුද්ධිමාර්‍ගයට ලියන බද ව්‍යාඛ්‍යාන යෙක් ද? නැතහොත් අන්‍යග්‍ර‍න්‍ථයකට ලියනලද්දෙක්දැ යි නිගමනය කිරීමට තරම් මේ කරුණු ප්‍ර‍මාණ නො වන බව අපගේ හැඟීම යි. විශුද්‍ධිමාර්‍ගමාහාසන්‍යයෙහි දැක්වෙන “විරති ඇති හෙතු චේතනා වෙන ම කර්‍මපථ බැවින් චෙතනාව ම කීහ.”53 යනු ද “ඉක්බිති ජාතියෙහි නො කළ අභියෝග ඇත්තෙ ද”53 යනු ද “පරිත්තගොත්තාභිහයනොත, කම්වැජිරි නම් මඬනා බැවින් ද මහග්ගතගොත්තාභාවනතො ච, රූපැජරි නම් උපයන බැවින්”[53] යනු ද පුරාණ සන්‍යාගතවචන බැවින් ඉපැරණි විශුද්‍ධිමාර්‍ග සත්‍යයක් පැවැති බව නිසැකයෙන් කිය හැකි ය. මේ පැරැණි සත්‍යය විල්ගම්මුල දාඨානාග නම් මහතෙරපාණන් විසින් කරන ලද්දෙකෙැ යි සාමාන්‍යයෙන් පිළිගෙන තිබේ. එගැන විමසීමක් කිරීමක් නො ගොස් විශුද්ධිමාර්‍ගයට කරන ලද පළමුවන පරිවාර ග්‍ර‍න්ථය මේ පැරණි සන්‍යය බව සඳහන් කරම්හ. අර්‍ථකථාචාර්‍යවරයකු ද ටීකාචාර්‍යවරයකු වූ ද ස්වසමය සමයාන්තර ප්‍ර‍වීණ වූ ද බදරතීවිර්‍ථහාරධිවාසී වූ ද භදන්ත ධම්මපාල මහා ස්වාමීන් විසින් සම්පාදනය කරන ලද පරමත්‍ථඤ්ජුසා නම් විසුද්‍ධිමග්ගටීකාව දෙවන පරිවාරග්‍ර‍න්‍ථය යි. දඹදෙණිපුරය රාජධානිය කොට ගත් කලිකාල සාහිත්‍ය සර්‍වඥපණ්ඩිත පරාක්‍ර‍මබාහු නරදෙවයන් විසින් සන්‍ය - ටීකා ඇසිරි කරමින් සම්පාදනය කරන ලද විශුද්‍ධිමාර්‍ගමහාසන්‍යය තෙවන පරිවාර ග්‍ර‍න්‍ථය යි. මහින්‍දසේන පරිවෙන්හි වැඩ වසමින් පාළිථූපවංසය කළ භදන්ත වාවිස්සර මහාස්වාමීන් විසුද්‍ධිමග්ගසඞ්ඛෙප නම් ග්‍ර‍න්‍ථය සිංහලභාෂාවන් සන්නයක් සම්පාදනය කළ බව ථූපවංසනිගමනයහි එන “විසුද්‍ධිමග්ගසංඛෙපෙයෛන අත්‍ථප්ප කාසනා” යනාදි ගයෙන් හළි වෙයි. මෙයින් පැවසෙන විසුද්‍ධිමග්ගසංඛෙපය බුදුගොස් හිමිතුමන් ගේ විසුද්‍ධිමග්ගයේ සංක්‍ෂෙපයක්දැ යි කිය නො හැකි බැවින් එය විසුද්‍ධිමග්ග පරිවාරග්‍ර‍න්‍ථයක් ලෙස සඳහන් කළ නො හැකි ය. බුරුමරට තෙරකෙනකුන් විසින් සම්පාදන කරන ලදැයි කියන විසුද්‍ධිමග්ගපදයොජනාව ද, විසුද්‍ධිමග්ගචුල්ලටීකාව ද, විසුද්‍ධිමග්ගණ්ඨිය ද යොන් රට වැඩ වුසූ භදන්ත උත්තරාරාම තෙරපාණන් විසින් සැපයුණෙකැ යි පවසන විසුද්‍ධිමග්ගදීපනිය ද, ලක්දිව සුප්‍ර‍සිද්ධ අභිධර්‍මවිශාරදයකු වූ බුද්‍ධසාසන මහාසූරසෙනාපති රාජදත්තය නාමොපලක්‍ෂිත ධර්‍මරත්න පණ්ඩිතප්‍ර‍කාණ්ඩයන් විසින් ලියන ලද විසුද්‍ධිමාර්‍ගභාවසන්නය ද, පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්‍මවංශ මහාස්ථවිර ප්‍ර‍ණීත සිංහලවිශුද්‍ධිමාර්‍ගය ද මේ විශුද්‍ධිමාර්‍ගග්‍ර‍න්‍ථයා ගේ පරිවාර ග්‍ර‍න්‍ථයෝ වෙති. මෙහි ලා මේ සියලු පරිවාරග්‍ර‍න්‍ථයන් පිළිබඳ වැ විවෙචන පූර්‍වක විවරණයක් කරන්නට නො ගොස් අපගේ මේ ප්‍ර‍ස්තාවනා සම්පාදනයෙහි ප්‍ර‍ධාන අරමුණ වූ සිංහලවිසුද්‍ධිමාර්‍ගය පිළිබැඳි හැඳින්වීමට යොමුවම්හ.

 

භාෂා කීපයකට පරිවර්‍තනය කරන ලද ඒ මේ විශුද්‍ධිමාර්‍ගයට සන්‍ය-ටීකාදි විසින් නොයෙක් පරිවාර ග්‍ර‍න්‍ථයන් ඇත ද සිංහල භාෂාවෙන් සම්පාදනය කරන ලද සිංහල විශුද්‍ධි මාර්‍ගය සම්පූර්ණ විශුද්‍ධිමාර්‍ගයෙක් මේ දක්වා නො වීය. මෙයට හවුරුදු අටවිස්සකට පෙරැ මාතර සිරිමඞ්ගල පිරිවෙනේහි ප්‍ර‍ධානාචාර්‍ය පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්‍මවංශ මහාස්ථවිරපාදයන් විසින් හෙළ බස දතුවන්ගේ ප්‍ර‍යෝජනය සඳහා මේ සිංහලවිශුද්‍ධිමාර්‍ගය සම්පාදනය කරන්නට ආරම්භ කරන ලදී. උන්වහන්සේගේ සංඥාපනයෙහි එන “විශුද්‍ධිමාර්‍ගය ත්‍රිපිටක අත්ර්‍ථකථාවන්ට ආලෝකය දෙන්නේ ය. ශ්‍රීමත් බුද්ධඝොෂ මහාස්ථවිරයාණන් වහන්සේ විසින් ත්‍රිපිටක ධර්මය හා තදර්ථකථාවන් අළලා මෙය සම්පාදනය කරන ලදි.”[54] යන මේ වැකියෙන් විශුද්‍ධිමාර්‍ගයෙහි තත්ත්‍වය ඉතා කොටින් ඉතා පැහැදිලි වැ පැවසෙයි. තෙවළාඅටුවාවනට එළිය දෙන මේ විශුද්‍ධිමාර්‍ගය සියබසට පෙරැළීම එතරම් පහසු නැති බව උන්වහන්සේ ම “පැහැදිලි වූ අර්ථාවබෝධය ද දෙමින් ස්වභාෂාරීතිය ද උල්ලඞ්ඝනය නො කරමින් භාෂාන්තර ග්‍ර‍න්ථ ස්වභාෂාව පරිවර්‍තනය කිරීම දුෂ්කර බව තත්ත්‍වඥයෝ දනිති. අපි මේ උභයක්‍ර‍මයෙහි ම හැකි තාක් ව්‍යාපෘත වූ බව සතුටින් මෙහි සඳහන් කරමු.”[55] යැයි ස්වකීය සංඥාපනයෙහි දක්වන සේක. කාර්‍යය අපහසු වුවත් සාමාන්‍යබෞද්‍ධජනයාගේ ධර්‍ම ඥානයට රුකුල් දෙනු පිණිස මේ සිංහලවිශුද්‍ධිමාර්‍ගය උන්වහන්සේ විසින් කළ සැටි “පෙළින් හා පදගත සන්නයෙන් තොර ව මේ උතුම් ධර්‍මප්‍ර‍බන්‍ධයේ භාවසන්නය පමණක් ප්‍ර‍සිද්‍ධ කළහොත් සාමාන්‍යබෞද්‍ධයන්ගේ ධර්‍මඥානයට විශෙෂාධාරයෙක් යැයි සැලකූ අප විසින් මින් හවුරුදු කීපයකට පෙරැ මේ සිංහලානුවාදය ලියන ලද්දේය.”[56] යන සිය වැකියෙන් ම හෙලිවෙයි. මේ සිංහල විශුද්‍ධිමාර්‍ගයෙන් සාමාන්‍යබෞධයන්ගේ ධර්‍මඥානයට ලැබෙන පිහිට එදා උන්වහන්සේ දුටු සැටියටත් වඩා මෙදා දක්නට ලැබී තිබෙන බව අපට නො මසුරු වැ කිය හැකි ය. මේ ග්‍ර‍න්ථය සිංහලය උගත් සාමාන්‍යබෞද්‍ධයනට වැටහෙන ලෙස උගතුන්ට ප්‍රිය රචනශෛලියකින් අර්‍ථරසයත් ධර්‍මරසයත් නො පිරිහෙළා ඉපැහැදිලි වැ සැපයීම සුලුපටු කාරියෙක් නො වේ. උගත්කමට සරිලන පද්‍ධිකමට සරිලන උගත්කමත් ඒ දෙකට ම සරිලන වියත්කමත් එක්තැනෙක ම සැතැපුම් ගන්නා සේ භාෂාන්තර ග්‍ර‍න්ථයක් සියබසට පෙරැළීම සැබවින් ම අගය කළයුතු වූ ද, පැසසියයුතු වූ ද සාහිත්‍ය සේවයෙකි.

 

මේ පරිවර්තනය හුදු පදානුගතපරිවර්‍තනයක් වත් හුදු භාව පූර්වක පරිවර්තනයක් වත් නො වන බව මේ ග්‍ර‍න්‍ථය පරිශීලනය කරන විමර්‍ශකයනට වැටහෙයි. මෙහි බොහෝ තන්හි පදානුගත පරිවර්‍තනය ද, කිසියම් තැනෙක භාවපූර්‍වක පරිවර්‍තනය ද කිසියම් තැනෙක ටීකා - සන්‍යාගත විස්තරය ද, කිසියම් තැනෙක අර්‍ථකථාස්වරූපය ද පැනෙයි. කිසියම් තැනෙක පාළි ගද්‍යපද්‍ය වාක්‍යප්‍රදේශයෙන් සැරසූ සැටි ද, කිසියම් තැනෙක පාළි පද්‍යයන් සියබසැ පැදියට නඟාලූ සැටි ද පැනෙයි. කිසියම් තැනෙක මුලග්‍ර‍න්ථයෙහි වාක්‍යප්‍රදෙශයන් අර්‍ථවාබොධයට හානි නො වන සේ බැහැර කළ සැටි ද දක්නට ලැබේ. මේ ග්‍ර‍න්‍ථ සම්පාදනයෙහි දී සිංහල භාෂාව පොෂණය වන පරිදි පාළි ශබ්දයන් තුබූ සැටියෙන් ද සංස්කෘතස්වරූපයෙන් ද යොදා තිබෙන බව පෙනෙයි. පහාණ-ප්‍ර‍හාණ; සීල-ශීල; විරිය-වීර්‍ය්‍ය; දිට්ඨි-දෘෂ්ටි; පදට්ඨාන-පදස්ථාන; විසුද්ධ-විශුද්ධ; අනුස්මතා-අනුස්මෘති; සඞ්ඛාර-සංස්කාර; සද්ධා-ශ්‍ර‍ද්‍ධා; අසුභ-අශුභ යනාදි  ශබ්දයන් ඒ ඒ වාක්‍යස්ථලයන්හි යොදා තිබෙන බැවින් ඒ බව ව්‍යක්ත වෙයි. මෙහි තවත් ඇති විශෙෂයක් නම් පාළි-සංස්කෘත වචන මිශ්‍ර‍ කොට යොදා තිබීම යි. එයට නිදර්‍ශන වශයෙන් සමථවිදර්‍ශනා-පරියුට්ඨානප්‍ර‍තිපක්‍ෂසීලනලක්‍ෂණ-ප්‍ර‍නීත සීල - ඉෂ්ටානිෂ්ටාරම්මණ - ලජ්ජා කුප්පනසිථාන-ශීලවොදාන - ග්‍රාමාන්තසෙනාසන - කසලත්‍රික අසුභසංඥා - අප්‍ර‍මාණ කසිණ යනාදිය දැක්විය හැකිය.

 

ඒ මේ විශුද්‍ධිමාර්‍ගයෙහි ශිලනිර්‍දෙශයෙහි පටන් බ්‍ර‍හ්මවිහාර නිර්‍දෙශය තෙක් පවත්නා පරිච්ඡෙද නවය පරිවර්‍තනස්වරූපයෙන් සම්පාදනය කරන ලද්දේ පූර්‍වොක්ත ක්‍ර‍මයෙනි. මේ පරිවර්‍තනය කර වදාළ පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්‍මවංශ ස්වාමින්‍ද්‍රයෝ වනාහි උගතුන් හා ගුණවතුන් එකසේ ප්‍රිය කළ අලාමක කීර්‍තතිඝෝෂයෙකින් සමූපලක්‍ෂිත ව්‍යක්ත බහුශ්‍රැත මහාස්ථවිර කෙනෙකි. උන්වහන්සේගේ අභිධර්‍මය පිළිබඳ සුනිශිත බුද්‍ධිය තමන් විසින් සැපයූ අභිධර්‍මචන්‍ද්‍රිකාවෙන්ද, සාහිත්‍යසම්පත්තිය සමග පරිවර්‍තනශක්තිය මේ සිංහලවිශුද්‍ධිමාර්‍ගයෙන්ද, ගැඹුරු විෂය ලිහිල් වැ පැවැසීමෙහි අප්‍ර‍තිහත ශක්තිය මේ උපය ග්‍ර‍න්ථයෙන් ද හෙළි වෙයි. මෙසේ පැසසිය යුතු ශාසනික සේවයක් හා සාහිත්‍ය සේවයක් කර වදාළ උන්වහන්සේ විසින් තවත් ග්‍ර‍න්‍ථ රාශියක් සම්පාදනය කළ බවද දැනුම්හ. ස්වභික්‍ෂුවංශීය සඞ්ඝසම්මතයෙන් ලත් ත්‍රිපිටකවාගීශ්වර ගෞරවපොධියෙන් ද ස්වනිකායවරයෙහි මහලෙඛකාධිකාරී පදවියෙන් ද සම්මානිත වූ උන්වහන්සේගේ පශ්චිම කාලය අරණ්‍ය සෙනසුනෙක ගත කළ බව ද සුප්‍ර‍සිද්ධ ය. ස්වනිකායවරයෙහි භික්‍ෂුන් අතරැ ප්‍ර‍ථම වරට ස්වණීමුද්‍රිකා සහිත පණ්ඩිතොපාධිය ලත් උන් වහන්සේගේ ශාන්ත ආකල්පසම්පත්තිය - ප්‍ර‍තිපත්තිගුරුත්‍වය - ප්‍රියශීලිත්‍වය - සෞශීල්‍යය -ගුණරුචිකත්‍වය කිසිවිටෙකත් පිරිහුණුබවක් අපි නො දනුම්හ. අප දන්නා විශෙෂ කරුණෙක් නම් උන්වහන්සේ අරණ්‍යයෙහි වැඩසිටිය දී ගිලන් වැ අපවත් වූ බවත් සිංහල විශුද්‍ධිමාර්‍ගපරිවර්‍තනය අඩාල වූ බවත් ය. අඩාල වූ සිංහල විශුද්‍ධිමාර්‍ගපරිවර්‍තනය වඩාලීමෙහි සමර්‍ථ පණ්ඩිත බටුවිට නන්‍දාරාම මහාස්ථවිරප්‍ර‍මුඛ ශිෂ්‍යපිරිසක් ගුරුකුලය සනාථ කිරීමට තනා වැඩීම ද, උන්වහන්සේ විසින් කළ ශාසන ප්‍ර‍තිෂ්ඨාවෙකි.

 

මේ විශුද්‍ධිමාර්‍ගයෙහි ආරුප්‍ය නිර්‍දෙශයෙහි පටන් ඉන්‍ද්‍රිය සත්‍ය නිර්‍දෙශය තෙක් පවත්නා පරිචේඡදසප්තකය මෙයට දෙවර්‍ෂයකට පෙරැ මුද්‍ර‍ණයෙන් ප්‍ර‍කාශනය විය. ප්‍ර‍ඥාභූමිනිර්‍දෙශයෙහි පටන් ප්‍ර‍ඥාභාවනානිසංස නිර්‍දෙය තෙක් පවත්නා පරිචේඡදසප්තකය මේ වර්ෂයෙහි මුද්‍ර‍ණයෙන් ප්‍ර‍කාශනයට පත්වෙයි. මේ පරිචේඡදසප්තකද්‍වය ම පරිවර්‍තනස්වරූපයෙන් සම්පාදනය කරන ලද්දේ මෙකල සිරිමඞ්ගල පිරිවෙණාධිපති ධූරය දරන පණ්ඩිත බටුවිට නන්‍දාරාම මහාස්ථවිරයන් වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් මේ පරිවර්‍තනයෙහි දී අනුගමනය කරන ලද්දේ සිය ගුරුපාණන් ගිය මඟ මැයි. පදානුගතපරිවර්‍තනයත් භාවපූර්‍වක පරිවර්‍තනයත් ටීකා-සන්‍යාගත විස්තරයත් අර්‍ථකථාස්වරූපයත් මේ කොටස්හිදු දක්නා ලැබෙන බව අමුතුවෙන් කියයුතු නො වේ. හෙළබස දත් සාමාන්‍ය බෞද්ධයන්ගේ පමණක් නො වැ ප්‍ර‍වීණයන්ගේ පවා ධර්‍මඥාන සංවර්‍ධනයට මේ සිංහල විශුද්‍ධිමාර්‍ගය පොහොසත් බව පාඨකයනට මැනැවින් වැටහේ යැයි අපට හැඟේ. අඩාල වූ මේ සිංහල විශුද්‍ධිමාර්‍ගය වඩාලීමෙහි දිරිමත් වූ පණ්ඩිත බටුවිට නන්‍දාරාම මහාස්ථවිරපාදයන් වහන්සේ වනාහි අව්‍යාජ ගුරු භක්තියෙන් ගුරුමඟ නො පියා මේ ඌනපූරණයට ඉදිරිපත් වූ බව:- “එහෙත් ඉන් ධර්‍මඥානය දියුණුකරගත් ගිහි-පැවිදි පින්වතුන් එහි ඉතිරි කොටස් ද සිංහලට පරිවර්‍තනය කොට ප්‍ර‍සිද්‍ධ කරවන සේ කළ ආරාධනයන් හා අපවත් වී වදාළ ධර්‍මාචාර්‍ය ස්වාමීන්වහන්සේට උපහාර වශයෙන් ද එය සම්පාදනය කිරීමට අදහස් කළෙමි. මෙහි ලා උන්වහන්සේ වෙත විශුද්‍ධිමාර්‍ගය හැදෑරීමෙන් ලැබූ අභ්‍යාසයෙන් හා උන්වහන්සේගේ සටහන් ද ඇසුරු කෙරෙමින් අවසානය තෙක් සම්පූර්ණ විශුද්‍ධි මාර්‍ගය අනුවාදනය කරන ලදි.”[57] යන මේ ස්වකීය සංඥාපනවචනයෙන් හෙළි කරන සේක. විශුද්ධිමාර්‍ගයෙහි ඉතා ගැඹුරු වූ ද ඉතා දුෂ්කර වූ ද ඉතා අධික වූ ද කොටස සියබසට නැඟීමෙහි දී උන්වහන්සේ සත්පුරුෂ භූමියෙහි පිහිටා සිටි සැටි ද මෙයින් දැක්වෙයි. ගුරූපහාරයක් වශයෙන් සම්පාදනය කරන ලද මේ කෘතිය ගුරුභක්තියෙහි මූර්‍තතිය කොට ද සැලකීමට මෙයින් ඉඩ ලැබෙයි. ධර්‍මශාස්ත්‍ර‍ ප්‍ර‍වීණ උගතකු වශයෙනුත් ප්‍ර‍තිපත්තිගරුක භික්‍ෂුවක් වශයෙනුත් ප්‍ර‍සිද්ධ වූ උන්වහන්සේ සිංහලවිශුද්‍ධිමාර්‍ගයේ මේ උනපූරණය ඉතා පරිශ්‍ර‍මයෙන් කරන ලද බව නො මසුරු වැ කියම්හ.

 

ඉඳුරුවේ උත්තරානන්‍ද ස්ථවිර

 

බුද්ධවර්‍ෂ 2501 වැන්නෙහි

ඇසළ මස පුරපසළොස්වක ලත් ගුරු දින

වැල්ලවත්තේ ශ්‍රී ධර්‍මොදය පිරිවෙන්හි දී ය.

 

 

 

 


ග්‍ර‍න්ථ සංකේත

 

දී: නි:          දීඝනිකාය 1939 ඤාණාවාස සංස්කරණය

ම: නි:          මජ්ඣිමනිකාය 1937 ඤාණවිමල සංස්කරණය

සං: නි:         සංයුත්තනිකාය 1925 අමරසීහතිස්ස සංස්කරණය

අ: නි:          අඞ්ගුත්තර නිකාය 1915 රේවත සංස්කරණය

ධ:ස (ධ:ප:)     ධම්මසංගනිප්පකරණ 1953 හේවාවිතාරණ සංස්කරණය

වි: ප:          විභඞ්ගප්පකරණ 1952 සිරිපාද ත්‍රිපිටක ග්‍ර‍න්‍ථාවලී

ධා: ක:         ධාතුකථාප්පකරණ 1952 ශ්‍රීපාද ත්‍රිපිටක ග්‍ර‍න්‍ථාවලී

ප: ප: (පඨාථප) පඨානප්පකරණ 1952 සිරිපාද ත්‍රිපිටක ග්‍ර‍න්‍ථාවලී      

ම: ච:          මහාවග්ගපාලි 1956 සිරිපාද ත්‍රිපිටක ග්‍ර‍න්‍ථාවලී

චු: ච:          චූලවග්ගපාලි 1956 සිරිපාද ත්‍රිපිටක ග්‍ර‍න්‍ථාවලී

ධ: ප:          ධම්මපදපාලි 1956 හේවාවිතාරණ සංස්කරණය

උ: පා:         උදානපාලි 1926 සිරිධම්මසංස්කරණය

ඉ: චු:          ඉතිවුත්තකපාලි 1926 සිරිධම්මසංස්කරණය

සු: නි:          සුත්තනිපාතපාලි 1924 විමලඤාණතිස්ස සංස්කරණය

මහා: නි:       මහානිදෙදසපාලි 1933 සෝරත සංස්කරණය   

පෙ: ව:         පෙතවත්‍ථුපාලි 1930 ඤාණිස්සර සංස්කරණය

පටි: ම:        පටිසම්භිදාමග්ග බුරුම ඡඨසංගායනා

අත්‍ථ: නී:       අත්‍ථසාලිනී 1940 හේවාවිතාරණ සංස්කරණය

ස: වි:          සම්මොහවිනොදනි 1932 හේවාවිතාරණ සංස්කරණය   

මි: ප:          මිලින්‍දපඤ්හ 1027 පියරතන සංස්කරණය

වි: ම:          විසුද්ධිමග්ග 1940 හේවාවිතාරණ සංස්කරණය

සිං: වි:         සිංහල විශුද්ධිමාර්‍ගය 1959 සිරිධම්මවංස සංස්කරණය

               සිංහල විශුද්ධිමාර්‍ගය 1959 නන්‍දාරාම සංස්කරණය

අ: නි: අඨකථා මනොරථපූරණී 1923 හේවාවිතාරණ සංස්කරණය

ප:ටි: අඨකථා   සද්ධම්මප්පකාසිනි 1927 හේවාවිතාරණ සංස්කරණය

වි:ම:ටීකා       පරමත්‍ථමඤ්ජුසා 1930 ධම්මානන්‍ද සංස්කරණය

වි: අඨකථා     විභඞ්ගප්පකරණ අඨකථා 1922 පඤ්ඤානන්‍ද සංස්කරණය

අනුක්‍රමණිකා

 

ප්ස්තාවනා   iv

ග්‍ර‍න්ථ සංකේත  xxxiii

පළමුවන පරිච්ඡේදය                    ශීල නිර්දේශය  1

දෙවන පරිච්ඡේදය                  ධූතාඞ්ග නිර්දේශය  92

තුන්වන පරිච්ඡේදය        කර්මස්ථානග්‍ර‍හණ නිර්දේශය  129

හතරවන පරිච්ඡේදය            පඨවිකසිණ නිර්දේශය  171

පස්වන පරිච්ඡේදය              සෙසු කසිණ නිර්දේශය  239

සයවන පරිච්ඡේදය         අශුභකර්මස්ථාන නිර්දේශය  247

සත්වන පරිච්ඡේදය              ඡ අනුස්සති නිර්දේශය  265

අටවන පරිච්ඡේදය     අනුස්සති කර්මස්ථාන නිර්දේශය  318

නවවන පරිච්ඡේදය              බ්‍ර‍හ්මවිහාර නිර්දේශය  397

දහවන පරිච්ඡේදය                   ආරූප්‍ය නිර්දේශය  437

එකොළොස්වන පරිච්ඡේදය            සමාධි නිර්දේශය  459

දොළොස්වන පරිච්ඡේදය             ඉද්ධිවිධ නිර්දේශය  506

දහතුන්වන පරිච්ඡේදය                අභිඥා නිර්දේශය  550

දහහතරවන පරිච්ඡේදය             ස්කන්ධ නිර්දේශය  585

පහළොස්වන පරිච්ඡේදය        ආයතනධාතු නිර්දේශය  667

දහසයවන පරිච්ඡේදය          ඉන්ද්‍රිය සත්‍ය නිර්දේශය  682

දහහත්වන පරිච්ඡේදය           පඤ්ඤභූමි නිර්දේශය  748

දහඅටවන පරිච්ඡේදය           දිට්ඨි විසුද්ධි නිර්දේශය  889

දහනවවන පරිච්ඡේදය කඞ්ඛාවිතරණ විසුද්ධි නිර්දේශය  906

විසිවන පරිච්ඡේදය     මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි නිර්දේශය  918

විසිඑක්වන පරිච්ඡේදය         ප්‍ර‍තිපදාඥානදර්ශනවිශුද්ධි නිර්දේශය  966

විසිදෙවන පරිච්ඡේදය      ඥානදර්ශනවිශුද්ධි නිර්දේශය  1011

විසිතුන්වන පරිච්ඡේදය     ප්‍ර‍ඥාභාවනානිසංස නිර්දේශය  1048

 

 

 

 

පටුන

 

ප්ස්තාවනා   iv

ග්‍ර‍න්ථ සංකේත  xxxiii

1 වැනි පරිච්ඡේදය - ශීල නිර්දේශය  1

ප්‍ර‍ශ්න විසර්ජන ගාථා  1

විශුද්ධි මාර්ගය හැඳින්වීම  2

සීල නම් කිම  8

සීලයාගේ ලක්ෂණ - රස - පච්චුපට්ඨාන - පදට්ඨාන  10

සීලයෙහි ආනිසංස  11

සීලය කී වැදෑරුම්ද   15

ද්විවිධ සීල  16

ත්‍රිවිධ සීල  18

චතුෂ්ක සීල  18

ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය  27

ඉන්ද්‍රිය සංවර ශීලය  33

ආජීව පාරිසුද්‍ධි සීලය  36

ප්‍ර‍ත්‍යය සන්නිඃශ්‍රිත සීලය  48

සතර සංවර ශීලය කෙසේ සම්පාදනය කළ යුතුද 57

පඤ්චවිධ සීල  71

සප්ත මෛථූනය  82

සීලය අඛණ්ඩ අකල්මාෂ වීමේ හේතු  84

සීල විපත්තියේ ආදීනව  84

2 වැනි පරිච්ඡේදය - ධුතාංග නිර්දේශය  92

තෙළෙස් ධුතාඞ්ග    92

ධුතාඞ්ගයන්ගේ අර්‍ථ විනිශ්චය  93

ධුතාඞ්ගයන්ගේ ලක්‍ෂණ - රස  95

ධුතඞ්ග සමාදානය  96

පංසුකූලිකඞ්ග සමාදානය  97

තෙචීවරිකඞ්ග සමාදානය  101

පිණ්ඩපාතිකඞ්ග සමාදානය  103

සපදානචාරිකඞ්ග සමාදානය  106

ඒකාසනිකඞ්ග සමාදානය  108

පත්තපිණ්ඩිකඞ්ග සමාදානය  109

ඛලු පච්ඡා භතතිකඞ්ග සමාදානය  111

ආරඤ්ඤකඞ්ග සමාදානය  112

රුක්ඛමූලිකඞ්ග සමාදානය  115

අබ්භොකාසිකඞ්ග සමාදානය  117

සොසානිකඞ්ග සමාදානය  119

යථාසන්‍ථතිකඞ්ග සමාදානය  121

නෙසජ්ජිකඞ්ග සමාදානය  122

කුසල ත්‍රිකය  124

3 වෙනි පරිච්ඡේදය - කර්මස්ථාන ග්‍ර‍හණ නිර්දේශය  129

සමාධි නම් කිම  129

සමාධි කී වැදෑරුම් ද 130

සමාධි ප්‍රභේද 131

සමාධි වැඩිය යුතු ආකාරය  138

දස පලිබොධ නම්  139

කර්‍මස්ථාන දායක  145

කල්‍යාණ මිත්‍ර‍යා  147

ඉරියව් වශයෙන් චරිත හඳුනා ගැනීම  154

කෘත්‍ය වශයෙන් චරිත හඳුනා ගැනීම  155

දර්‍ශනාදි වශයෙන් චරිත හඳුනා ගැනීම  156

ධර්‍ම ප්‍ර‍වෘත්ති වශයෙන් චරිත හඳුනා ගැනීම  156

රාගචරිතයාට සප්පාය  158

ද්වේෂ චරිතයාට සප්ප්‍රාය  159

මෝහ චරිතයාට සප්ප්‍රාය  159

ශ්‍ර‍ද්ධා චරිතයට සප්ප්‍රාය  160

බුද්ධි චරිතයාට සප්ප්‍රාය 160

විතර්‍ක චරිතයාට සප්ප්‍රාය  160

දශවිධ කර්‍මස්ථාන විනිශ්චය  160

සංඛ්‍යා නිර්‍දෙශ වශයෙන්. 161

උපචාරවහ - අර්පණාවහ වශයෙන්  162

ධ්‍යාන ප්‍රභේද වශයෙන්  162

සමතික්‍ර‍ම වශයෙන්  162

වර්ධන-අවර්ධන වශයෙන්  163

ආරම්මණ වශයෙන්  164

භූමි වශයෙන්  165

ග්‍ර‍හණ වශයෙන්  165

ප්‍ර‍ත්‍යය වශයෙන්  166

චරියානුකුල වශයෙන්  166

4 වැනි පරිච්ඡේදය - පඨවි කසිණ නිර්දේශය  171

උද්ග්‍ර‍හ නිමිත්තයේ හා ප්‍ර‍තිභාග නිමිත්තයේ වෙනස  180

අසප්පාය ආවාස හා සප්පාය ආවාස  181

සිත දිරිමත් කිරීම  185

මතාන්තර 196

ප්‍ර‍ථම ධ්‍යාන විභාගය  198

විතර්‍ක විචාර විභාගය  201

ප්‍රීති විභාගය  204

සමන්තාගත අඞ්ග    207

ත්‍රිවිධ කල්‍යාණය  209

පටිභාග නිමිත්ත වඩන ක්‍ර‍මය  215

පඤ්චිධ වසී  217

තෘතීය ධ්‍යානය උපදවන ආකාරය  224

දශවිධ උපේක්‍ෂා   225

චතුර්‍ථධ්‍යානය ලබාගත යුතු ක්‍ර‍මය  232

පඤ්චකධ්‍යාන ලබා ගත යුතු ක්‍ර‍මය  237

5 වෙනි පරිච්ඡේදය - සෙසු කසිණ   239

තේජෝ කසිණය  240

වායෝ කසිණය  240

නීල කසිණය  241

පීත කසිණය. 241

ලෝහිත කසිණය  242

ඕදාත කසිණය  242

ආලෝක කසිණයෙහි  243

ආකාස කසිණය  243

කසිණ ඵල  244

කසිණ භේද 245

කසිණ භාවනා සමෘද්ධ නොවන්නෝ      245

6 වෙනි පරිච්ඡේදය - අශුභ කර්මස්ථාන නිර්දේශය  247

උද්ධු මාතක අසුභය  248

නිමිති සලකන ආකාරය  251

ෂඩ්විධ ග්‍ර‍හණ නිමිත්ත    252

පංචවිධ නිමිත්ත ග්‍ර‍හණ  253

උද්ග්‍ර‍හ නිමිත්තේ සහ ප්‍ර‍තිභාග නිමිත්තේ වෙනස  257

විනීලකාදි අසුභ  257

අශුභ ප්‍ර‍කිර්‍ණක කථා  260

අශුභ ලක්‍ෂණ  262

7 වෙනි පරිච්ඡේදය - ඡ අනුස්සති නිර්දේශය  265

බුද්ධානුස්මෘති භාවනා විධිය  266

අරහං ආදී පදයන්ගේ අර්ථ විභාගය  266

ධම්මානුස්සති භාවනා විධිය  296

සංඝානුස්සති භාවනා විධිය  304

ශීලානුස්සතිය  308

ත්‍යාගානුස්සතිය  310

දේවතානුස්සතිය  312

8 වෙනි පරිච්ඡේදය - අනුස්සතිකර්මස්ථාන නිර්දේශය  318

මරණානුස්මෘතිය  318

මරණය සිහි කළ යුතු අට ආකාරය  319

කායගතාසතිය  333

කායගතාසති භාවනා විධිය  335

සප්තවිධ උද්ග්‍ර‍හ කෞෂල්‍ය විධි  335

දශවිධ මනස්කාර කෞෂල්‍ය විධි  339

කේසාදිය වර්ණාදි වසයෙන්  345

ආනාපාණ සතිය  360

ආනාපාණ සති භාවනානිසංසය  391

උපසමානුස්මෘතිය  393

9 වෙනි පරිච්ඡේදය - සතර බ්‍ර‍හ්ම විහාර 397

මෛත්‍රී භාවනාව  397

මෛත්‍රී භාවනායෙහි එකොලොස් ආනිසංස  417

කරුණා භාවනාව  419

මුදිතා භාවනාව  421

උපේක්‍ෂා භාවනාව  422

සතර බ්‍ර‍හ්ම විහාර ප්‍ර‍කීර්ණක කථා  423

10 වෙනි පරිච්ඡේදය - ආරුප්‍ය නිර්දේශය  437

ප්‍ර‍කීර්ණක කථා  457

11 වෙනි පරිච්ඡේදය - සමාධි නිර්දේශය 442-487 459

ආහාරයෙහි ප්‍ර‍තිකූල සංඥාව  459

චතුර්ධාතු ව්‍යවස්ථානය  467

සමාධි භාවනාවේ ආනිසංස  502

12 වෙනි පරිච්ඡේදය - ඉද්ධිවිධ නිර්දේශය  506

ඉද්ධි ශබ්දයාගේ අර්ත විවරණය  522

මනෝමය සෘද්ධිය  549

13 වෙනි පරිච්ඡේදය - අභිඥා නිර්දේශය  550

දිබ්බ සෝත ඤාණය 550

චේතෝ පරිය ඤාණය  552

පූර්වේ නිවාසානුස්මෘති ඤාණය  556

චුතුපාපත ඤාණය  567

පඤ්චාභිඥාවන්ගේ ප්‍ර‍කීර්‍ණක කථාව  574

14 වෙනි පරිච්ඡේදය - ස්කන්ධ නිර්දේශය  585

ප්‍ර‍ඥාව හැඳින්වීම  585

විඥාන ස්කන්ධය  619

වේදනා ස්කන්ධය  637

සංඥා ස්කන්ධය  638

සංස්කාරස්කන්‍ධය  639

අව්‍යාකෘත  651

15 වෙනි පරිච්ඡේදය - ආයතන ධාතු නිර්දේශය  667

ආයතන  667

දතයුතු බව වසයෙන් ධාතු කථාව  673

16 වෙනි පරිච්ඡේදය - ඉන්ද්‍රිය සත්‍ය නිර්දේශය  682

අර්ථ වශයෙන්  682

සත්‍ය නිර්‍දෙශය 689

අනුනානධික වසයෙන්  696

ක්‍ර‍ම වශයෙන්  697

ජරා දුක්ඛ විභාගය  703

මරණ දුක්ඛ විභාගය  704

උපායාස දුක්ඛය  708

අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛය  709

ඉච්ඡා විඝාත දුක්ඛය  710

සමුදය සත්‍යය  713

නිරෝධ සත්‍යය 714

දුඃඛනිරෝධගාමිනී ප්‍ර‍තිපදාව  728

17 වෙනි පරිච්ඡේදය - පඤ්ඤාභූමි නිර්දේශය  748

අඞ්ග ව්‍යවස්ථාන වශයෙන්  776

ප්‍ර‍ත්‍යය විභාගය  808

ප්‍ර‍ත්‍යය විනිශ්චය  809

ෂඩායතන ස්පර්ශයට ප්‍ර‍ත්‍ය වන පරිදි 850

තෘෂ්ණාව උපාදානයට ප්‍ර‍ත්‍ය වන පරිදි 856

18 වෙනි පරිච්ඡේදය - දිට්ඨි විසුද්ධි නිර්දේශය  889

19 වෙනි පරිච්ඡේදය - කඞ්ඛාවිතරණ විශුද්ධිය  906

20 වෙනි පරිච්ඡේදය - මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධිය  918

ත්‍රිවිධ පරිඥා  919

කලාප සන්මර්ශනය  919

රූප සප්තකය  937

අරූප සප්තක  946

21 වෙනි පරිච්ඡේදය - ප්‍ර‍තිපදා ඥාන දර්ශන විශුද්ධිය  966

22 වෙනි පරිච්ඡේදය - ඥාන විදර්ශන විශුද්ධිය  1011

ප්‍ර‍ථම මාර්ග ඥානය  1014

23 වෙනි පරිච්ඡේදය - ප්‍ර‍ඥා භාවනානිසංස නිර්දේශය  1048

නිගමනය  1066

 


 

සිංහල විශුද්ධිමාර්‍ගය

 

පළමු පරිච්ඡේදය

 

නමො තස්ස භගවතො සම්මා සම්බුද්ධස්ස

 

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් වෙහෙර වැඩ වසන කල්හි එක්තරා දේවපුත්‍රයෙක් එක් මධ්‍යම රාත්‍රියෙක උන්වහන්සේ කරා එළඹැ වැඳැ එකත්පස් වැ සිටැ මෙසේ විතාළේය.

“අන්තොජටා බහි ජටා - ජටාය ජටිතා පජා

තං තං ගොතම පුච්ඡාමි - කො ඉමං විජටයෙ ජටං[58]

 

“ඇතුළත ද අවුල ය පිටත ද අවුල ය. මුළු සත්ත්‍ව වර්‍ගයා මේ අවුලෙන් අවුල් වැ සිටිති. ගෞතම සර්‍වඥයන් වහන්ස එබැවින් මම ඔබගෙන් විතාරමි. මේ අවුල කවුරු නිරවුල් කෙරෙත් ද” යනු එහි භාවයි.

 

විස්තරය මෙසේය:-

 

හුණ ලැහැබෙක අතුපතුර මුල පටන් අග දක්වා ද අග පටන් මුල දක්වා ද හැසී ගැවැසී සිටිනා සේ තෘෂ්ණාව රූපාලම්බනයෙහි පටන් ධර්මාලම්බනය දක්වා ද ධර්මාලම්බන යෙහි පටන් රූපාලම්බනය දක්වා ද හැසී ගැවසී පවත්නේ ය. එබැවින් තෘෂ්ණාවට මෙහි දී ජටා හෙවත් අවුල යයි කියන ලදී. ඒ තෘෂ්ණාව වනාහි ස්වකීය ආත්ම භාව අධ්‍යාත්මික ආයතන පිළිබඳ වැ උපදනා කල අන්තො ජටා ඇතුළ අවුල යයි ද, පරකීය පරිෂ්කාර පරකීය ආත්ම භාව බාහිර ආයතන පිළිබඳ වැ උපදනා කල බහිජටා- පිටත අවුල යයි ද කියනු ලැබේ. තුන්ලෝ වැසි සියලු සත්ත්වයෝ මේ අන්තො ජටායෙන් හා බහිජටායෙන් අවුල් වැ සිටිති. යම් හෙයකින් අවුල් වැ සිටිත් ද එහෙයින් ගෞතම ස්වාමිදරුවාණෙනි මම ඔබවහන්සේගෙන් විචාරමි. මේ අවුල කපාලන්නට කවුරු සමර්ථ ද

 

මෙසේ පුළුවුත්නා ලද සර්‍වඥ ශාසතෘන් වහන්සේ ඒ දෙව් පුත්හු ගේ ප්‍ර‍ශ්නය විසඳන සේක්

 

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො

චිත්තං පඤ්ඤං ච භාවයං

ආතාපී නිපකො භික්ඛු

සො ඉමං විජටාය ජටං[59]

 

යී වදාල සේක.

 

මේ ගාථාව වර්‍ණනා කිරීම් වශයෙන් අර්‍ථකථාචාර්‍ය්‍ය බුද්ධඝොස මහා ස්ථවිරයන් වහන්සේ සසුන් වැදැ පැවිදි වූ නිවන් කැමැති යෝගීන්ගේ ප්‍රමෝදය සඳහා මහා වීහාර වාසීන්ගේ පරිශුද්ධ විනිශ්චයයෙන් හා නානාවිධ දේශනා නයින් ප්‍ර‍තිමණ්ඩිත වූ විශුද්ධිමාර්‍ග නම් උතුම් ධර්‍මග්‍ර‍න්‍ථය පාළිභාෂායෙන් රචනා කරන ලද්දේය. පාළි භාෂාව නොදත් ශ්‍ර‍ද්ධා සම්පන්න බෞද්ධ සාධූන්ගේ ප්‍රයෝජනය සඳහා මවිසින් එය සිංහල භාෂාවට පරිවර්‍තනය කරනු ලැබේ. ආදර උපදවා සියල්ලන් විසින් ශ්‍ර‍වණ ධාරණ කළයුතු.

 

වීශුද්ධිමාර්‍ග යනු කුමක්ද

 

කිසියම් කිලුටක් නැති බැවින් හා ඉතා පිරිසිදු බැවින් නිර්වාණයට විශුද්ධි යයි කියනු ලැබේ. ඒ විශුද්ධි සංඛ්‍යාත නිර්වාණයට මාර්‍ගය-විශුද්ධි මාර්‍ගය යි. මාර්‍ග නම් අධිගම උපාය (නිර්වාණයට යා හැකි උපාය-විශුද්ධි මාර්‍ගය යි කී නිසා මෙයින් දත යුතු.)

 

ඒ මේ විශුද්ධි මාර්‍ග සංඛ්‍යාත නිර්වාණ අධිගමෝපාය වනාහි ඇතැම් තැනෙක විදර්ශනා මාත්‍ර‍ වශයෙන් ද, ඇතැම් තැනෙක ධ්‍යාන-ප්‍ර‍ඥා වශයෙන් ද, ඇතැම් තැනෙක කර්මාදි වශයෙන් ද, ඇතැම් තැනෙක ශීලාදි වශයෙන් ද, ඇතැම් තැනෙක සතිපට්ඨානාදි වශයෙන් ද වදාරන ලද්දේය. ඒ එසේ මැ යි.

 

“සබ්බෙ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති

අථ නිබ්බින්‍දති දුක්ඛෙ - එසමග්ගො විසුද්ධියා”[60]

 

“සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යහ’යි යම් විටෙක නුවණින් දක්නේ ද, එවිට දුඃඛයෙහි උකටළි වන්නේ ය” මෙහි විදර්ශනා මාත්‍ර‍ය විශුද්ධිමාර්‍ගය යි වදාළේ ය. විදර්ශනා නම්, සියලු සංස්කාර ධර්‍මයන් අනිත්‍යාදි වශයෙන් සැලකීමයි.

 

“යම්භිඣානං ච පඤ්ඤා ච - සවෙ නිබ්බාණසන්තිකෙ”

 

“යමෙක් කෙරෙහි ධ්‍යානය හා ප්‍ර‍ඥාව ඇත්තේ ද හෙතෙම නිර්වාණය අසල වන්නේ ය” මෙහි ධ්‍යාන, ප්‍ර‍ඥා දෙක විශුද්ධිමාර්‍ගය යි වදාළේය.

 

“කම්මං විජ්ජා ච ධම්මො ච - සීලං ජීවිතමුත්තමං

එතෙන මච්චා සුජ්ඣන්තී - නගොත්තෙන ධනෙන වා”[61]

 

මෙහි කර්‍ම, විද්‍යා, ධර්‍ම, ශීල යන ධර්‍මයෝ විශුද්ධිමාර්‍ගය යි වදාළේ ය. “මාර්‍ග චේතනාය මාර්‍ග ප්‍ර‍ඥාය, සමාධිපාක්‍ෂික ධර්‍මය සීලයෙහි පිහිටියහුගේ උත්තම ජීවිතය, නොහොාත් විජ්ජා සංඛ්‍යාත සම්මාදිට්ඨි, සම්මාසංකප්පය, ධම්ම සංඛ්‍යාත සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධිය, සීල සංඛ්‍යාත සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීවය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයෙන් මනුෂ්‍යයෝ පිරිසිදු වෙති. ගොත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නොවෙත්” යනු ගාථාවෙහි අදහසය.

 

“සබ්බදා සීලපම්පන්නො - පඤ්ඤවා සුසමාහිතො

ආරද්ධවිරියො පහිතත්තො - ඔඝං තරති දුත්තරං”[62]

 

මෙහි ශීල, සමාධි, ප්‍ර‍ඥා, වීර්‍ය්‍ය යන මේ ධර්‍මයෝ විශුද්ධිමාර්‍ගය නිවනට මඟ යයි වදාළේය. ‘ඇමකල්හි සිල්වත් වූ සාමාධිමත් වූ ප්‍ර‍ඥාවත් වූ පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇති නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති මහණ එතර විය නො හැකි කාමාදි චතුරෝඝය එතර කරන්නේ ය” යනු ගාථාවේ අදහස ය.

 

“එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා පෙ........

නිබ්බාණස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා”[63]

 

මෙහි සතර සතිපට්ඨාන ධර්‍මයෝ විශුද්ධිමාර්‍ගය-නිවනට මඟ යයි වදාළේ ය. මහණෙනි යම් සතර සතිපට්ඨාන ධර්‍ම කෙනෙක් වෙත් ද ඔවුහු සත්ත්‍වයන් ගේ විසුද්ධිය පිණිස, නිවන් අවබෝධය පිණිස ඒකායන මාර්‍ගය වන්නේ ය” යනු අදහස යි.

 

මෙසේ දක්වන ලද නානාවිධ විශුද්ධිමාර්‍ග - නිවන් මං අතුරෙන් මේ “සීලෙ පතිට්ඨාය” යනාදි ප්‍ර‍ශ්න ව්‍යාකරණයෙහි ශීල, සමාධි, ප්‍ර‍ඥා, වීර්‍ය්‍ය යන මේ ධර්‍මයෝ විශුද්ධිමාර්‍ග-නිවනට මඟ යයි වදාළ සේක. (ඒ විශුද්ධිමාර්‍ග ප්‍ර‍කාශක ග්‍ර‍න්‍ථය ද විශුද්ධිමාර්‍ග නම් විය.)

 

ගාථායෙහි පදාර්‍ථ මෙසේ ය:-

 

සපඤ්ඤො= (ත්‍රිහේතුක ප්‍ර‍තිසන්‍ධි ප්‍ර‍ඥායෙන්) ප්‍ර‍ඥාවත් වූ, නරො = යම් සත්ත්‍වයෙක්; සීලෙ පතිට්ඨාය = සීලයෙහි පිහිටා; චිත්තං ච = සමාධියද; පඤ්ඤං ච = විදර්‍ශනාව ද; වඩන්නේ; ආතාපී = කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ; නිපකො = පාරිභාරිය - ප්‍ර‍ඥා ඇත්තේ වෙයිද; සො භික්ඛු = ඒ මහණ; ඉමං ජටං = මේ තෘෂ්ණා නමැති අවුල; විජටයෙ = නිරවුල් කරන්නේ ය; සිඳලන්නේ ය; යූ සේයි.

 

ගාථායෙහි එක් එක් පදයෙක විවරණය මෙසේ ය:-

 

සීලෙ පතිට්ඨාය= සීලයෙහි සිටැ සීලය පුරන්නා ම මෙහි සීලයෙහි සිටියේ යයි කියනු ලැබේ. එහෙයින් සිල් පිරීම් වශයෙන් සීලයෙහි පිහිටා යන අර්‍ථයි.

 

නරො= සත්ත්‍ව තෙමේ.

 

සපඤ්ඤො= කර්‍මජ ත්‍රිහේතුක ප්‍ර‍තිසන්‍ධි ප්‍ර‍ඥායෙන් ප්‍ර‍ඥා ඇත්තේ ය.

 

(අහේතුක හෝ ද්විහේතුක ප්‍ර‍තිසන්‍ධි චිත්තයෙන් උපන්නහුට ඒ අත්බැව්හි තෘෂ්ණා අවුල කැපිය නොහැක. ත්‍රිහේතුක ප්‍ර‍තිසන්‍ධි චිත්තයෙන් උපන්නේ මැ තෘෂ්ණා අවුල කපා, තෘෂ්ණා අවුල කැපීම නම් රහත් වීම ය. අහේතුක ද්විහේතුකයනට රහත්වනු තබා ධ්‍යානවත් සෙසු මාර්‍ග ඵලවත් නොලද හැක.

 

චිත්තං පඤ්ඤං ච භාවයං= සමාධියද, විදර්‍ශනාව ද, වඩන්නේ. මෙහි චිත්ත ශීර්‍ෂයෙන් සමාධිය ද, ප්‍ර‍ඥා නාමයෙන් විදර්‍ශනාව ද, දක්වන ලදී.

 

ආතාපී= වීර්‍ය්‍ය ඇත්තේ. වීර්‍ය්‍යය වනාහි කෙළෙස් තවන අර්‍ථයෙන් ආතාප යයි කියනු ලැබේ. ආතාප ඇත්තේ ආතාපී.

 

නිපකො= ප්‍ර‍ඥා ඇත්තේ. නේපක්ක නම් ප්‍ර‍ඥා එයින් යුක්ත වූයේ නිපක. මෙයින් පාරිහාරිය ප්‍ර‍ඥාව දැක්විණි.

 

මේ ගාථායෙහි “1 සපඤ්ඤො, 2. පඤ්ඤංභාවයං, 3 නිපකො” යි තෙවරක් ප්‍ර‍ඥාව සඳහන් විය. එයින් ප්‍ර‍ථමය ජාති ප්‍ර‍ඥාව ය. ද්විතීය ය විදර්‍ශනා ප්‍ර‍ඥා ය. තෘතීය ය සර්‍වකෘත්‍යසාධක පාරිහාරිය ප්‍ර‍ඥා ය. (පාරිහාරිය ප්‍ර‍ඥා නම්, “අයං කාලො උද්දෙසස්ස අයං කාලො පරිපුච්ඡායාති ආදිනා නයෙන සබ්බත්‍ථකාරාපිකා පරිහරිතබ්බපඤ්ඤා”යි[64] සංයුත් අටුවායෙහි යූ බැවින් මේ උද්දෙසයට කාලය, මේ පරිපුච්ඡායට කාලයයි යනාදි නයින් සර්‍වාත්‍ථසාධක වූ පරිහරණය කළයුතු ප්‍ර‍ඥාය. උද්දෙස නම්, පාළිවාචනා පරිපුච්ඡා නම්, අට්ඨ කථා.)

 

භික්ඛු= සසර බිය දක්නේ භික්‍ෂු

 

සො ඉමං විජටයෙ ජටං= යට දැක්වුණු (ශීල, සමාධි, ත්‍රිවීධ ප්‍ර‍ඥා, වීර්‍ය්‍ය යන) සවැදෑරුම් ධර්‍මයන්ගෙන් යුක්ත වූ භික්‍ෂු තෙමේ ශක්ති සම්පන්න පිරිමියෙක් පොළොවෙහි සිටැ ගෙන තියුණු ආයුධය ඔසවා මහ හුණු ලැහැබක් කපා හෙලන්නා සේ ශීලයෙහි පිහිටා සමාධි නමැති නිකපාෂාණයෙහි මුවහත් තබන ලද විදර්‍ශනා ප්‍ර‍ඥා නමැති ආයුධය වීර්‍ය්‍ය බලයෙන් රුකුල් දෙන ලද පාරිහාරිය ප්‍ර‍ඥා නමැති හස්තයෙන් ඔසවා සිය සතන්හි පවත්නා සකල තෘෂ්ණා ජටාව කපා හෙලන්නේ ය. මාර්‍ග ක්‍ෂණයෙහි හෙතෙමේ කපා හෙළන්නේ නම් වේ. ඵල ක්‍ෂණයෙහි කපා හෙළුයේ සකල ලෝකයට අග්‍ර‍ දක්‍ෂිණාර්‍හ වන්නේ ය. එහෙයින් සර්‍වඥයන් වහන්සේ

 

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො

චිත්තං පඤ්ඤං ච භාවයං

ආතාපී නිපකො භික්ඛු

සො ඉමං විජටයෙ ජටං

 

යී වදාල සේක.

 

මෙහි දක්වන ලද ත්‍රිවිධ ප්‍ර‍ඥාවන් අතුරෙහි “සපඤ්ඤො” යි පළමු දැක්වුණු ප්‍ර‍තිසන්‍ධි ප්‍ර‍ඥාව සඳහා යෝගාවචරයා විසින් මේ අත්බැව්හි කළ යුත්තෙක් නැත. එය පූර්‍වකර්මානුභාවයෙන් මැ සිද්ධ විය යුතු බැවිනි.

 

ඔහු විසින් “ආතාපී-නිපකො” යි මෙහි දක්වන ලද වීර්‍ය්‍යයෙන් නිති උත්සාහවත් වැ ප්‍ර‍ඥායෙන් යහපත් විමසුම් ඇති වැ සීලයෙහි පිහිටා චිත්ත-පඤ්ඤා වශයෙන් වදාළ සමථ-විදර්‍ශනා වැඩිය යුතු වන්නේ ය. මෙසේ මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ ශීල, සමාධි, ප්‍ර‍ඥා මුඛයෙන් විශුද්ධිමාර්‍ගය හෙවත් නිවනට මඟ වදාළ සේකැ යි දත යුතු. එපමණක් ද නොවේ. මේ ත්‍රිවිධ ධර්‍මයෙන් උන්වහන්සේ 1 ත්‍රිවිධ ශික්‍ෂා, 2 ත්‍රිවිධකල්‍යාණ ශාසන, 3 තෙවිජ්ජතාදීන්ට උපනිඃශ්‍ර‍ය, 4 උභයාන්තය හැර මධ්‍යම ප්‍ර‍තිපත්ති සේවන, 5 අපායාදී සමතික්‍ර‍මණ උපාය, 6 ත්‍රිවිධ සංක්ලේශ විශෝධන, 9 සෝතාපන්නතාදින්ට හේතු යන මෙතෙක් ධර්‍ම ප්‍ර‍කාශ කළ සේක.

 

1.   ත්‍රිවිධ ශික්ෂා නම්:- අධිශීල ශික්‍ෂා, අධීචිත්ත ශික්‍ෂා අධිප්‍ර‍ඥා ශික්‍ෂා යැ. එහි ශීලයෙන් අධිශීල ශික්‍ෂාවද, සමාධියෙන් අධිචිත්ත ශික්‍ෂාව ද, ප්‍ර‍ඥායෙන් අධිප්‍ර‍ඥා ශික්‍ෂාව ද දක්වන ලදී.

 

2.   ත්‍රිවිධ කල්‍යාණ ශාසන නම්:- ශාසනයාගේ ආදී කල්‍යාණ මජ්ඣෙ කල්‍යාණ, පරියෝසාන කල්‍යාණ ය. ශීලයෙන් ශාසනයාගේ ආදි කල්‍යාණත්‍වය දැක්විණි.

 

ඒ එසේ මැ යි:- ශීලය ශාසනයාගේ ආදිය වේ. “කොචාදී කුසලානං ධම්මානං සීලං ච සුවිසුද්ධං”[65] “සබ්බ පාපස්ස අකරණං” යනාදීන් වදාළ හෙයිනි. ඒ ශාසනයාගේ ආදි සංඛ්‍යාත ශීලය අවිප්පටිසාරාදි ගුණ එළවන බැවින් කල්‍යාණ වේ. අවිප්පටිසාර නම් විපිළිසර නොවීම. “සීලං අවිප්පටිසාරය” යනාදීන් වදාළ හෙයිනි.

 

සමාධියෙන් ශාසනයාගේ මධ්‍ය කල්‍යාණත්‍වය දැක්විණි. ඒ එසේ මැ යි:- සමාධිය ශාසනයාගේ මාධ්‍ය යැ. “කුසලස්ස උපසම්පදා”[66] යනාදීන් වදාළ හෙයිනි. හෙ ද සෘධිවිධාදි ගුණ එළවන හෙයින් කළ්‍යාණ ය වේ.

 

ප්‍ර‍ඥායෙන් පරියොසානා කළ්‍යාණතා දැක්විණි. ඒ එසේ මැ යි:- ප්‍ර‍ඥාව ශාසනයාගේ අවසානය වේ “සචිත්ත පරියොදපනං එතං බුද්ධානසාසනං”[67] යනු වදාළ හෙයින් හා ශ්‍රේෂ්ඨ බැවිනි. හේ ඉෂ්ටානිෂ්ටාරම්මණයෙහි නොසැලෙන බව ගෙන දෙන බැවින් කළ්‍යාණ වේ. වදාළේ මැ යි.

 

“සෙලො යථා එකඝනො - වාතෙන න සමිරති,

එවං නින්‍දාපසංසාසු - න සමිඤ්ජන්ති පණ්ඩිතා”[68]

 

“ඒකඝන ශෛල පර්‍වතයක් වාතයෙන් කම්පිත නොවන්නා සේ පණ්ඩිතයෝ නින්‍දා ප්‍ර‍ශංසා දෙකින් කම්පිත නොවෙත්” යනු භාවයි.

 

3.   තේවිජ්ජතාදීන්ට උපනිඃශ්‍ර‍ය නම්: ත්‍රිවිද්‍යා-ෂට්අභිඥා චතුපටිසමහිදා ලබා ගැන්මට හේතුවන බව ය.

 

ඒ එසේ මැ යි:- සීලයෙන් ත්‍රිවිද්‍යාවට උපනිඃශ්‍ර‍ය බව දර්ශිත ය.

 

සීලසම්පත්තිය නිසා ත්‍රිවිද්‍යාව ලබයි. ඉන් වැඩියක් නො ලබයි. සාමාධියෙන් ෂඩභිඥාවට උපනිඃශ්‍ර‍ය බව දර්ශිතය. සමාධිසම්පත් නිසා ෂට් අභිඥා ලබයි. ඉන් වැඩියෙන් නො ලබයි. ප්‍ර‍ඥායෙන් සිව්පිළිසිඹියාවට උපනිඃශ්‍ර‍ය දර්ශිත ය. ප්‍ර‍ඥායෙන් මැ සිව්පිළිසිඹියා ලබයි. අනෙක් හේතුවකින් නො ලබයි.

 

4.   උභයාන්නය හැර මධ්‍යම ප්‍ර‍තිපත්ති සේවනය නම්:- කාමසුඛානුයෝගය හා අත්තකිලමථානුයෝගය දුරුකොට මධ්‍යම ප්‍ර‍තිපදායෙහි යෙදීම ය. ශීලයෙන් කාමසුඛානුයෝගයෙන් දුරුවීම දර්ශිත ය. සමාධියෙන් අත්තකිලමථානුයෝගයෙන් දුරුවීම දර්ශිත ය. ප්‍ර‍ඥායෙන් මධ්‍යම ප්‍ර‍තිපදා සේවනය දර්ශිතයි.

 

5.   අපායා දි සමතික්‍ර‍මණ උපාය නම්:- අපායෙන් ද, කාම භාවයෙන් ද, සියලු භවයෙන් ද දුරුවීමේ උපායයි. ශීලයෙන් අපාය කෙරෙන් දුරුවීමේ උපාය ද, සමාධියෙන් කාමභවයෙන් දුරුවීමේ උපායය ද, ප්‍ර‍ඥායෙන් කාමරූප අරූප යන සියලු භවයන්ගෙන් දුරුවීමේ උපාය ද දක්වන ලදී.

 

6.   ත්‍රිවිධක්ලේශ ප්‍ර‍හාණ නම්:- තදඞ්ගප්පහාණ, වික්ඛම්හනප්පහාණ, සමුච්ඡේදප්පහාණයි. ශීලයෙන් තදඞ්ගප්පහාණ වශයෙන් ද, සමාධියෙන් වික්ඛම්හනප්පහාණ වශයෙන් ද, ප්‍ර‍ඥායෙන් සමුච්ඡේදප්පහාණ වශයෙන් ද කෙලෙස් ප්‍ර‍හාණය දක්වන ලදී.

 

7.   ව්‍යතික්‍ර‍මාදි ප්‍ර‍තිපක්‍ෂභාව නම්:- ක්ලේශයන් ගේ ව්‍යතික්‍ර‍ම, පරියුට්ඨාන, අනුසයයන්ට විරුද්ධ භාවයයි. ව්‍යතික්‍ර‍ම නම් සමාදන්වූ ශික්‍ෂාපද බිඳපීම ය. පරියුට්ඨාන නම්, ක්ලේශයන් නැඟී සිටීමය. අනුසය නම් කෙලෙසුන් නිදි ගෙන මෙන් සිය සතක්හි ගුප්ත වැ සිටීම යි. ශීලයෙන් ක්ලේශයන්ගේ ව්‍යාතික්‍ර‍ම ප්‍ර‍තිපක්‍ෂ භාවය ද, සමාධිායෙන් පරියුට්ඨාන ප්‍ර‍තිපක්‍ෂභාවය ද, ප්‍ර‍ඥායෙන් අනුසය ප්‍ර‍තිපක්‍ෂභාවය ද දක්වන ලදී.

 

8.   ත්‍රිවිධ සංක්ලේශ විශෝධන නම් - දුශ්චරිත, තෘෂ්ණා, දෘෂ්ටි යන තෙවැදෑරුම් සංක්ලේශයන්ගෙත් පිරිසිදු වීම ය. ශීලයෙන් දුශ්චරිත සංක්ලේශ විශෝධනය ද, සමාධියෙන් තෘෂ්ණා සංක්ලේශ විශෝධනය ද, ප්‍ර‍ඥායෙන් දෘෂ්ටි සංක්ලේශ විශෝධනය ද දක්වන ලදී.

 

9.   සෝතාපන්නතාදීන්ට හේතු යි කී තන්හි ශීලයෙන් සෝවාන් බව හා සකෘදාගාමි බවට ද, සමාධියෙන් අනාගාමි බවට ද, ප්‍ර‍ඥායෙන් අර්‍හත් බවට ද හේතු දක්වන ලදී.

 

ඒ එසේමැ යි:- සෝවාන් සකෘදාගාමි පුද්ගලයෝ ශීලයෙහි පරිපූරකාරීහු ය. අනාගාමි පුද්ගලයා සමාධියෙහි පරිපූරකාරී ය. රහතන්වහන්සේ ප්‍ර‍ඥායෙහි පරිපූරකාරී සේක.

 

මෙසේ මේ ක්‍ර‍මයෙන් ත්‍රිවිධ ශික්‍ෂා, ත්‍රිවිධි කල්‍යාණ ශාසන, තෙවිජ්ජතාදීන්ට උපනිස්සය, උභයාන්තයහැර මධ්‍යම ප්‍ර‍තිපත්ති සේවන, අපායාදි සමතික්‍ර‍මණ උපාය, ත්‍රිවිධ ක්ලේශප්‍ර‍භාණ, ව්‍යතික්‍ර‍මාදි ප්‍ර‍තිපක්‍ෂභාව, ත්‍රිවිධ සංක්ලේශ විශොධන සෝතාපන්තාදීන්ට හේතු යන නවත්‍රිකයෝ ද මෙබඳු අන්‍ය ගුණත්‍රිකයෝද දක්වන ලදැ යි දත යුතු.

 

මේ මෙහි අති සංක්‍ෂේප ක්‍ර‍මයයි.

 

ප්‍ර‍ශ්න - උත්තර ව්‍යාජයෙන් විස්තර මතු දක්වනු ලැබේ.

 

1. සීල නම් කිම? 2. කවර අර්‍ථයකින් “සීල” යයි කියනු ලැබේ ද 3. සීලයා ගේ ලක්‍ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කවරහු ද? 4. සීලයෙහි ආනිසංස කිම? 5. සීලය කී වැදෑරුම් ද 6. සීලය කිලිටිවන්නේ කෙසේ ද? 7. සීලය පිරිසිදු වන්නේ කෙසේ ද? යන මෙහිලා ප්‍ර‍ශ්නයි.

 

එය එකක් පාසා ක්‍ර‍මයෙන් විසඳනු ලැබේ.

 

1.  සීල නම් කිම?

 

සීල නම් :- ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහු ගේ හෝ වත් පිළිවෙත් පුරන්නහු ගේ හෝ (1) චේතනා, (2) චෛතසික, (3) සංවර, (4) අව්‍යතික්‍ර‍ම, යන මේ ය.

වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි “කිං සීලං ති? චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතික්ක මො සීලං....[69] යි.

 

(1) චේතනා සීල නම් :- ප්‍රාණඝාතාදියෙන් වැළැකෙන්නහු ගේ හෝ වත් පිළිවෙත් පුරන්නහු ගේ හෝ චේතනා ය. (එබන්දකුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන චෛතසිකයන් අතුරෛන් චේතනා චෛතසිකය සීල නම් වෙයි යූ සේයි.)

 

තවද ප්‍රාණඝාතාදිය හැර පියන්නකු ගේ සප්ත කර්‍මපථ චේතනා ද සීල නම් වෙයි. (සප්ත කර්‍මපත නම්, පාණාතිපාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සමඵප්පලාප යන මේයි.)

 

(2) චෛතසිකය ශීල නම් : ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ විරති ය. (එබන්දකුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසිකත්‍ර‍ය චෛතසික සීල නම් වෙයි. යූ සේයි) තවද අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මාදිට්ඨි යන මේ ධර්‍මයෝ ද චෛතසික ශීල නම් වෙත්. “අභිජ්ඣා පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති”[70] යනාදීන් වදාළ හෙයිනි.

 

(3) සංවර ශීලය වනාහි, පාතිමොක්ඛසංවරය, සතිසංවරය ඤාණ සංවරය, ඛන්තිසංවරය, වීරියසංවරය යි පංචවිධ වේ. “ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙතො හොති සමුපෙතො”[71] යනාදි දේශනා පාළියෙහි පාතිමොක්ඛ සංවරයද “රක්ඛති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති”[72] යනාදි දේශනායෙහි සති සංවරය ද,

“යානි සොතානි ලොකස්මිං (අජිතානි භගවා)

සති තෙසං නිවාරණං - සොතානං සංවරං බ්‍රැමි

පඤ්ඤායෙතෙ පිථියරෙ”[73]

 

යන දේශනාවෙහි ඤාණසංවරය ද, (පච්චයසන්නිස්සිතසීලය ද මෙහි මැ ඇතුළති) “ඛමොහොති සීතස්ස උණහස්ස”[74] යනාදි දෙශනායෙහි ඛන්තිසංවරය ද, උප්පන්තං කාමවිතක්කං නාධිවාසෙති”[75] යනාදි තන්හිවීරිය සංවරය ද, (ආජීව පරිසුධි සීලය ද මෙහි මැ ඇතුළති) සීල වශයෙන් වදාළේ ය. මේ පංච විධ සංවරය හා පාපභීරුක කුලපුත්‍ර‍යන්ගේ සම්පත්ත චිරතිය ද යන මේ සියල්ල සංවර සීලය යි දතයුතු.

(4) අව්‍යතික්‍ර‍ම ශීල නම් - සමාදන් වැ ගත් සීලය කයෙන් වචනයෙන් නොබිඳ රැක ගන්මයි.

 

“සීල නම් කුමක් ද?” යනු මෙතෙකින් විසඳන ලද්දේය.

 

2. කවර අර්‍ථයෙකින් සීල යයි කියනු ලැබේද

සීලන අර්‍ථයෙන් සීල යයි කියනු ලැබේ. සීලන නම්, සමධානය හෝ උපධාරණය යි. කුශල කායකර්‍මාදීන්ට විසිර යන්නට ඉඩ නොදීම සමාධානය. කුශල ධර්මයන් ප්‍ර‍තිෂඨා වශයෙන් ධැරීම උපධාරණය යි. (සීලවන්තයා විපිළිසර නොවන්නේ ය. සීලයෙහි සමාධානර්‍ථය ඇති හෙයිනි.) ධ්‍යාන මාර්‍ග - ඵල සංඛ්‍යාත බීජයන් වැපිරීමට සීලය භූමිය වේ. (සීලයෙහි උපධාරණාර්‍ථය ඇති හෙයිනි.) ශබ්ද ලක්‍ෂණඥයෝ මේ අර්‍ථද්වය මැ මෙහි ලා පිළිගනිති. ඇතැම්හු ශිරස් (හිස යන) අර්‍ථයෙන් සීලය වේ. ශීතලාර්‍ථයෙන් සීලය වේ. යනාදීන් ප්‍ර‍පඤ්ච (විස්තර) කෙරෙත්.

 

කවර අර්‍ථයෙකින් සීල යයි කියනු ලැබේ ද

යනු මෙතෙකින් විසඳන ලද්දේ යි.

0 0 0 0 0

 

3. සීලයාගේ ලක්‍ෂණ - රස - පච්චුපට්ඨාන - පදට්ඨාන කවරහුද සීලයාගේ ලක්‍ෂණය යට දැක්වූ සීලනය මැ යි.

 

“සීලනං ලක්ඛණං තස්ස

භින්තස්සාපි අනෙකධා,

සනිදස්සනත්තං රූපස්ස

යථා භින්නස්ස නෙකධා”

 

‘නීලාදි වශයෙන් නානාවිධ වූ ද රූපයාගේ ලක්‍ෂණය සනිදර්‍ශන භාවයයි. රූපය නීලාදි වශයෙන් නානා භේද වුවද සනිදර්‍ශන භාවය නොහරන බැවිනි, එමෙන් චේතනාදි වශයෙන් නානාවිධ වූද සීලයාගේ ලක්‍ෂණය සමාධානය උපධාරණය යි දෙවැදෑරුම් කොටැ දක්වන ලද සීලනය මැයි. එබඳු භේද සහිත වුවත් සීලය සමාධානාර්‍ථ හෝ උපධාරනාර්‍ථ වූ හෝ සීලන ලක්‍ෂණය නොහරින බැවිනි. (ලක්‍ෂණ නම්, සාමාන්‍ය ස්වභාවයයි)

 

“දුස්සීල්‍ය විධංසනතා - අනවජ්ජගුණා තථා,

කිච්චසම්පත්ති අත්‍ථෙන - රසො නාම පවුච්චති.”

 

රස නම් :- කෘත්‍ය හෝ සම්පත්තිය. සීලයාගේ කෘත්‍ය රසය නම්, දුශ්ශීලත්‍වය විනාශ කිරීමයි. සම්පත්ති රසය නම්, නිරවද්‍ය ගුණයෝයි. (සීලයෙන් දුශ්ශීලත්‍වය වනසනු ලැබේ. එසේ මැ සීලයෙන් ධ්‍යානාදි ගුණ උපදවනු ලැබේ.)

 

“සොචෙය්‍යපච්චුපට්ඨානං - තයිදං තස්ස විඤ්ඤෑහි

ඔත්තප්පංච හිරිං චෙ ච - පදට්ඨානං‘ති වණ්ණිතං.”

 

පච්චුපට්ඨාන නම් :- වැටහෙන කාරණය, සීලයාගේ පච්චුපට්ඨානය නම්, කය - වචන - හිත යන ත්‍රිවිධ ද්වාරයාගේ පරිශුද්ධ භාවයයි වදාළේ මැ ය :- “කායසොචෙය්‍යං වචී සොචෙය්‍යං මනොසොචෙය්‍යං”[76] යි සොචෙය්‍ය නම්, සුවිභාව හෙවත් පිරිසිදු බව.

 

පදට්ඨාන නම් :- ආසන්න කාරණය, සීලයාගේ පදට්ඨාන නම්, හිරි - ඔතප් දෙක ය.

 

ඒ එසේ මැ යි - හිරි ඔතප් ඇති කල්හි මැ සීලය උපදනේත් වෙයි. පවත්නේත් වෙයි. හිරි ඔතප් නැති කල්හි සීලය කෙසේවත් නූපදනේ ය. නොපවත්නේ යි.

 

ශීලයාගේ ලක්‍ෂණ-රස-පච්චුපට්ඨාන - පදට්ඨාන කවරහුද? යනු මෙතෙකින් විසඳන ලද්දේ යි.

 

0 0 0 0 0

 

4. සීලයෙහි ආනිසංස කිම?

 

සීලයෙහි ආනිසංස නම් :- අවිප්පටිසාරාදි නොඑක් ගුණ ලැබීම ය. (අවිප්පටිසාර නම්, විපිළිසර නොවීම ය.)

 

වදාළේ මැ යි:- “අවිප්පටිසාරත්‍ථානි ඛො ආනන්‍ද කුසලානි සීලානී අවිප්පටි සාරානිසංසනි” යි.[77]

 

ආදි ශබ්දයෙන් මතු දක්වන ආනිසංස පංචකය ද ගන්න.

 

1.  මහත් වූ භෝගස්කන්‍ධ ලැබීම,

2.  කල්‍යාණ කීර්‍තතිශබද නැඟීම,

3.  ක්‍ෂත්‍රියාදි පිරිස් කරා විසා වැ එළඹීම,

4.  අසම්මූඪ වැ කාලක්‍රියා කිරීම,

5.  මරණින් මතු දෙව් ලෝ උපදීම.

වදාළේ මැ යි.

 

“පඤ්චිමෙ ගහපතයො ආනිසංසා සිලවතො සීලසම්පදාය කත මේ පඤ්ච? ඉධ ගහපතයො සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්නං භොගක්ඛන්‍ධා අධිගච්ඡති අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

 

පුනචපරං ගහපතයො සීලවතො සීලසම්පන්නස්ස කල්‍යාණො කිත්ති සද්දො අබ්භුග්ගච්ඡති. අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

 

පුනචපරං ගහපතයො සීලවා සම්පන්නො යං යදෙව පරිසං උපසද්ඞ්කමති. යදි ඛත්තිය පරිසං, යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං, යදි සමණ පරිසං විසාරදො උපසඞ්කමති අමංකුභුතො. අයං තතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

 

පුනචපරං ගහපතයො සීලවා සීලසම්පන්නො අසමමූළෙහා කාලං කරොති. අයං චතුත්‍ථො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

 

පුනචපරං ගහපතයො සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති. අයං පඤ්චමො ආනිසංසො සීලවතො සීලසම්පදාය. ඉමෙ ඛො ගහපතයො පඤ්චානිසංසා සීලවතො සීලසම්පදාය[78] යි.

 

මෙහි සංක්‍ෂිප්ත භාවය මෙසේය:-

 

ගෘහපතිවරුනි සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි ලා මේ ආනිසංස පසෙකි. ඒ කවරේද, ගෘහපතිවරුනි සිල්වත් තෙමේ අප්‍ර‍මාදයෙන් මහත් වූ භෝගසකන්‍ධය ලැබ ගන්නේය. මේ පළමු වන ආනිසංසය යි. වැළිදු ගෘහපතිවරුනි සිල්වත්හුගේ කල්‍යාණ කීර්‍තති ඝෝෂයෙක් ලොව පැන නගින්නේය. මේ දෙවන ආනිසංසය යි. වැළිදු ගෘහපතිවරුනි සිල්වත් තෙමේ ක්‍ෂත්‍රිය පිරිසකට වේවයි, බ්‍රාහ්මණ පිරිසකට වේවයි, ගෘහපති පිරිසකට වේවයි ශ්‍ර‍මණ පිරිසකට වේවයි, විසාරද වැ නොමැකු වැ එළඹෙන්නේ ය. මේ තෙවන ආනිසංසය. වැළිදු ගෘහපතිවරුනි සිල්වත් තෙමේ අසම්මූඪ වැ කලුරිය කරන්නේ ය. මේ සිව්වන ආනිසංසය. වැළිදු ගෘහපතිවරුනි සිල්වත් තෙමේ මරණින් මතු සුගති සවර්‍ගලෝකයෙහි උපදනේ ය. මේ පස්වන ආනිසංසය යයි. ගෘහපතිවරුනි සිල්වත්හුගේ සීලසම්පත් හි ලා මේ ආනිසංස පස වන්නේය.

 

තවද, “ආකංඛෙය්‍ය චෙ භික්ඛවෙ භික්ඛු සබ්‍ර‍හ්මචාරීනා පියොචස්සං මනාපො ගරු භාවනීයො සීලෙස්වෙවස්ස පරිපූරකාරී”[79] යනාදීන් මැදුම්සඟි ආකංඛෙය්‍ය සූත්‍රයෙහි රහත් බැව් හිම්කොට සබ්රම්සරුන්ට ප්‍රියමනාප වන බැව් ආදි අනේක ආනිසංසයෝ දක්වන ලදහ. “මහණෙනි සබ්රම්සරුන්ට ප්‍රියමනාප-ගුරු-සම්භාවනීය යන්නට කැමති නම් සිල් මැ පුරන්නේ ය.” යනු ඒ දෙශනා පාළියේ භාවය යි.

 

සාසනෙ කුලපුත්තානං - පතිට්ඨා නත්‍ථි යං විනා,

ආනිසංස පරිච්ඡෙදං - තස්ස සිලස්ස කො වදෙ.

 

න ගඞ්ගා යමුනා චාපි - සරගුවා සරස්සති,

නි තත්ගා වා-විරවතී - මහී චාපි මහානදි.

 

සක්කුණන්ති විසොධෙතු - තං මලං ඉධ පාණිනං,

විසොධයති සත්තාන - යං වෙ සිලජලං මලං.

 

න තං සජලදා වාතා - න චාපි හරිචන්‍දනං,

නෙව හාරා න මණයො-න චන්‍දකිරණඞ්කුරා.

 

සමයන්තී ධ සත්තානං - පරිළාහ සුරක්ඛිතං,

යං සමෙති ඉදං අරියං - සීලං අච්චන්ත සීතලං.

 

සීලගන්‍ධ සමො ගන්‍ධො - කුතො නාම භවිස්සති,

යො සමං අනුවාතෙ ච - පටිවාතෙ ච වායති.

 

සග්ගාරොහණසොපාන - අඤ්ඤං සීලසමං කුතො,

චාරං වා පන නිබ්බාණ - නගරස්ස පවෙසනෙ.

 

සොභන්තෙවං න රාජානො - මුත්තා මණිවිභූසිතා,

යථා සොභන්ති යතිනො - සිලභූසනභූසිතා.

 

අත්තානුවාදා දි භයං - විද්ධංසයති සබ්බසො,

ජනෙති කිත්තිං හාසඤ්ච - සීලං සීලවතං සදා.

 

ගුණානා මූලභූතස්ස - දොසානං බලඝාතිනො,

ඉති සීලස්ස විඤ්ඤෙය්‍යං ආනිසංසකථා මුඛන්ති.

 

භාවය :-

 

1.  සසුන්වන් කුලදරු-වනට ඇමකල් එක් පිහිටි,

සිල් ගුණ දහමැ අනුසස් - පිරිසිඳ කියන්නේ කවර.

 

2-3. පස් මහගඟ දියෙන් - සිල්දියෙන් මෙන් සත්වග

      කිලිටිමල හැර සෝදා - නොපියා කරත්හොත් බැරි

 

4-5.  මඳ මඳ මේ පවන් - සඳුන මිණිහර සඳකැන්,

      පිරිසිදු සිහිල් සිල් සේ - නොපියා සත්වග තැවුලි

 

6.  උඩු යටි සුලඟ හා - එක සේ දුවන අනුබඳ,

සිල් සුවඳ සුවඳෙක් - මුලු තුන් ලොව අන් කවර

 

7.  සගපහට එකහිණ - නිවන් පුරට මහදොර,

සීලගුණ බඳු දහමෙක් - කියග ලොවතුර වෙන කවර.

 

8.  සිල්බරණින් සැදුණු - බුදුපුත් යතිවරන් සේ,

සූසැට බරණ පැළඳි - නිරිදෝ ද නො දිලෙත් මේ.

9.  සිව් බිය නසා හැරැ - සිල්වත් දනගෙ සිල්කඳ,

යසකිත් ලොවෙහි පතුරා - සැපත් සිරිදෙයි නිතොරා.

 

10.     ගුණ මලට මුල් වූ - දොස් බල සිඳි තුමුල් වූ,

සිල් ගුණෙහි අනුසස් - මෙලෙසින් දැන පුරන්නේ.

 

සීලයෙහි ආනිසංස කුමක් ද

යනු මෙතෙකින් විසඳන ලද්දෙයි.

 

 

5. සීලය කී වැදෑරුම් ද

 

සීලය වනාහි සීලන ලක්‍ෂණයෙන් එක් වැදෑරුම් වේ. සීලන ලක්‍ෂණ යට විස්තර කරන ලදී.

 

චාරිත්ත සීල, වාරිත්ත සීල වශයෙන් දෙවැදෑරුම් වේ. එසේ ම ආභිසමාචාරික සීල, ආදීබ්‍ර‍හ්මචරියක සීල වශයෙන් ද, විරති සීල අවිරති සීල වශයෙන් ද, නිස්සිත සීල, අනිස්සිත සීල වශයෙන් ද, කාලපරියන්ත සීල, ආපාණකොටික සීල වශයෙන් ද, සපරියන්ත සීල, අපරියන්ත සීල වශයෙන් ද, ලොකිය සීල, ලොකුත්තර සීල වශයෙන් ද දෙවැදෑරුම් දෙවැදෑරුම් වේ.

 

හීන සීල, මධ්‍යම සීල, ප්‍ර‍ණීත සීල වශයෙන් තෙවැදෑරුම් වේ. එසේ මැ, අත්තාධිපතෙය්‍ය සීල, ලොකාධිපතෙය්‍ය සීල, ධම්මාධි පතෙය්‍ය සීල වශයෙන් ද, පරාමට්ඨ සීල, අපරාමට්ඨ සීල, පටිප්පස්සධි සීල වශයෙන් ද, විශුද්ධි සීල, අවිසුද්ධි සීල, මෙතික සීල වශයෙන් ද, සෙඛ සීල, අසෙඛ සීල, නෙවසෙඛනාසෙඛ සීල වශයෙන් ද තෙවැදෑරුම් තෙවැදෑරුම් වේ.

 

හානභාගිය සීල, ඨිතිභාගිය සීල, විසෙසභාගිය සීල, නිබ්බෙධ භාගිය සීල වශයෙන් සිව්වැදෑරුම් වේ. එසේ මැ, භික්ඛු සීල, භික්ඛුණී සීල, අනුපසම්පන්න සීල ගහට්ඨ සීල වශයෙන් ද, පකති සීල, ආචාර සීල, ධම්මතා සීල පුබ්බහෙතුක සීල වශයෙන් ද, පාතිමොක්ඛ සංවර සීල, ඉන්‍ද්‍රිය සංවර සීල, ආජිවපාරිසුද්ධි සීල, පච්චයසන්නිස්සිත සීල වශයෙන් ද සිව්වැදෑරුම් වේ.

 

පරියන්ත පාරිසුදද්‍ධි සීල, අපරියන්ත පාරිසුද්ද්‍ධි සීල, පරිපුණ්ණ පාරිසුද්ද්‍ධි සීල, අපරාමට්ඨ පාරිසුද්ද්‍ධි සීල, පටිප්පස්සද්‍ධි සීල වශයෙන් පස්වැදෑරුම් වේ. වදාළේ මැයි:- පටිසම්භිදායෙහි “පඤ්චසීලානි පරියන්ත පාරිසුදද්‍ධි සීලං, අපරයන්ත පාරිසුදද්‍ධි සීලං, පරිපුණ්ණ පාරිසුද්ද්‍ධි සීලං, අපරාමට්ඨ පාරිසුදද්‍ධි සීලං, පටිප්පස්සදද්‍ධි පාරිසුදද්‍ධි සීලං[80] යි එසේ මැ, පහාන සීල, වෙරමණී සීල, චෙතනා සීල, සංවර සීල, අවීතික්කම සීල යයි පස් වැදෑරුම් වේ. මොව්හු ක්‍ර‍මයෙන් මතු විස්තර කරනු ලැබෙත් ඒකවිධ සීලය යට දක්වන ලද පරිදි දතයුතු.

 

ද්‍විවිධ ශීල මෙසේයි.

 

ප්‍ර‍ථම ද්‍විකය

 

1.  චාරිත්ත සීලය      2. වාරිත්ත සීලය

 

1.  “මේ දේ කළ යුතුය” යි බුදුන් විසින් පණවා වදාළ යම් ශික්ෂාපද කෙනෙක් වෙද් ද ඒ ශික්‍ෂාපදයන්හි නියමිත සේ කිරීම චාරිත්ත සීලය. “චරන්ති තස්මිං සීලෙ පරිපූර කාරිතාය පවත්තන්තී’ත චාරිත්තං” යනු එහි විග්‍ර‍හ වාක්‍යයි.

 

2.  “මේ දේ නොකළ යුතුය” යි බුදුන් විසින් යමක් ප්‍ර‍තික්‍ෂේප කරන ලද්දේ ද ඒ ප්‍ර‍තික්‍ෂිප්තය නොකිරීම වාරිත්ත සීලය. “වාරිතං තායන්ති රක්ඛන්ති තෙනාති වාරිත්තං” යනු එහි විග්‍ර‍හ වාක්‍යයි.

වාරිත්ත සීලය ශ්‍ර‍ධායෙන් හා වීර්‍ය්‍යයෙන් සිද්ධ කළ යුතුය. වාරිත්ත සීලය ශ්‍ර‍ද්ධායෙන් මැ සිද්ධ කළ යුතුයි.

 

මෙය චාරිත්ත - වාරිත්ත සීල නම්.

 

ද්වීතීය ද්විකය

 

1.  ආභිසමාවාරික සීලය හා            2. ආදිබ්‍ර‍හ්මචරියක සීලය

 

1.  අභිසමාචාර නම් :- උතුම් හැසිරීමය. අභිසමාචාරය ම ආභිසමාචාරික ය. ස්වර්‍ථයෙහි ප්‍ර‍ත්‍යය කිරීම් වශයෙනි. මෙයින් උත්තම හැසිරීම ආභිසමාචාරික සීලය යි කී නියා දතයුතු.

 

නොහොත් සෝවාන් ආදි මාර්‍ගඵල අභිසමාචාරය ය. ඒ අභිසමාචාරය සඳහා පණවන ලද සීලය ආභිසමාචාරික ය. මෙයින් ආජීවටමක සීලය හැර සෙසු සිල් ආභිසමාචාරික සීල යයි කී නියා දතයුතු.

 

නොහොත් ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍ර‍ ශික්ෂාපද ආභිසමාචාරික ය. මෙයින් පවිති-දුකකට-දුර්භාෂිත ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය නොකොට රැකීම ආභිසමාචාරික සීලය යි කී නියා දතයුතු.

 

නොහොත් සුලුවග, මහවග දෙක්හි ආ කඳුවත් පිරීම ආභිසමාචාරික සීලය යි.

 

2.  මාර්‍ග බ්‍ර‍හ්මචරියාවට ආදියෙහි වූ, සීලය ආදි බ්‍ර‍හ්මචරියක සීලය. එනම් : ආජීවාෂ්ටමක ශීලය යි. ආජීවාෂ්ටමක ශීලය නම්: කායද්‍වාරයෙන් සිඬවන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන ත්‍රිවිධ අකුශලයෙන් ද, වාග්ද්‍වාරයෙන් සිද්‍ධවන මුසාවාද, පිසුණාවාචා, ඵරුසවාචා, සම්ඵප්පලාප යන චතුර්විධ අකුශලයෙන් ද, මිථ්‍යාආජීවයෙන් ද වැළකීම සඳහා සමාදන් වැ ගන්නා ශීලය යි. මේ ශීලය මාර්‍ගයට පූර්‍වභාගයෙහි පිරිය යුතු මැ ය. එහෙයින් වදාළහ. “පුබ්බෙව ඛො පනස්ස කායකම්මා වචී කම්මා ආජීවො සුපරිසුද්‍ධො හොති”[81] යි.

 

නොහොත් සඞ්ඝාදිසෙස පාරාජික යන මහා ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය නොකොට රැකීම ආදිබ්‍ර‍හ්මචරියක ශීලයයි.

 

නොහොත් භික්‍ඛු - භික්‍ඛුණී උභය විහඞ්ගයන්හි ආ ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය නොකොට රැකීම ආදිබ්‍ර‍හ්මචරියක ශීලයයි.

 

කිව යුත්තෙක් ඇති, ආභිසමාචාරික සීලය නුපුරන්නේ ආදිබ්‍ර‍හ්මචරියක ශීලය පුරන්නේය යනු කිසි කලෙක සිඬ නොවේ. ආභිසමාචාරික ශීලය පුරන්නේ මැ ආදිබ්‍ර‍හ්මචරියක ශීලය ද පුරන්නේ ය.

 

වදාළේ මැ යි. “සො වත භික්ඛවෙ භික්‍ඛු අභිසමාචාරිකං ධම්මා අපරිපූරෙත්‍වා ආදිබ්‍ර‍හ්මචරියකා ධම්මං පරිපූරෙස්සතී ති නෙතං ඨානා විජ්ජති”[82] යි.

 

මෙය ආභිසමාචාරික, ආදිබ්‍ර‍හ්මචරියක සීල නම්.

 

 

තෘතීය ද්විකය

 

1.  විරති සීලය හා          2. අවිරති සීලය

 

1.  ප්‍රාණඝාතාදියෙන් වැළකීම් මාත්‍ර‍ය විරති ශීලය හෙවත් එම කුශල චිත්ත වීථියෙහි උපදනා සම්මාවාචා, සම්මාකම්මන්ත සම්මාආජීව යන විරති චෛතසිකත්‍ර‍ය විරති ශීලයයි.

 

2.  එම කුශල චිත්ත වීථියෙහි මැ පහළ වන සෙසු චෙතනාදි චෛතසිකයෝ අවිරති ශීලය යි.

 

 

මේය විරති, අවිරති සීල නම්.

 

චතුර්‍ථ ද්විකය

 

1.  නිස්සීත සීලය හා          2. අනිස්සිත සීලය

 

1.  තණ්හා නිස්සය, දීට්ඨි නිස්සය’ යි නිස්සය දෙවැදෑරුම් වේ. ‘මම මේ සීල හේතුයෙන් ප්‍ර‍සිද්‍ධ දෙවියෙක් හෝ වන්නෙමි, අප්‍ර‍සිද්‍ධ දෙවියෙක් හෝ වන්නෙමි’ යි භව සම්පත් පැතීම් වශයෙන් පුරනු ලබන ශීලය තණ්හා නිස්සිත ය. ‘ශීලයෙන් මැ සුද්‍ධය වන්නේය’යි දෘෂටි වශයෙන් පුරනු ලබන ශීලය දිට්ඨි නිස්සිත ය. මේ දවිවිධ වූ ශීලය නිස්සිත සීල නම් වේ. 

 

2.  මේ දෙවැදෑරුම් නිස්සයයෙන් වෙන් වැ පුරනු ලබන ලෞකික ලොකොත්තර සීල අනිස්සිත සීල නම් වේ.

 

මේය නිස්සිතානිස්සිත සීල නම්.

 

පංචම ද්විකය

 

1.  කාලපරියන්ත සීලය හා     2. ආපාණකොටික සීලය.

 

1.  කාලපරිච්ඡේද ඇතිව (අෂ්ඨාඞ්ග සීලය මෙන්) සමාදන් ව රක්නා ශීලය කාලපරියන්ත සීලය.

 

2.  දිවිහිම් කොට (පංචසීලය මෙන්) සමාදන්ව රක්නා ශීලය ආපාණකොටික සීලයි.

 

මේය කාලපරියන්ත, ආපාණකොටික සීල නම්.

 

ෂෂ්ඨ ද්විකය

1.  සපරියන්ත සීලය හා           2. අපරීයන්ත සීලය.

 

1.  ලාභය, කීර්‍තතිය, ඥාතිය, අඞ්ගය, ජීවිතය යන මොවුන් අතුරෙන් කිසිවක් සීමා කොට රක්නා සීලය සපරියන්ත සීලය ඒ එසේ මැ යි. ඇතැම් කෙනෙක් ‘ලාභයක් ලබමි’ යි යන සිතින් සිල් සමාදන් වෙති. පසුව ඒ ලාභය ලත්කල සීලය බිඳැ ලත්. ඇතැම් කෙනෙක් කීර්‍තතියක් ලබමි’යි යන සිතින් සිල් සමාදන් වෙති. පසුව ඒ කිර්‍තතිය ගත් කල සීලය බිඳැ ලත්. ඇතැම් කෙනෙක් ඥාති, අංග, ජීවිත අපේක්‍ෂායෙන් සිල් සමාදන් ව පසුව ඒ ඥාති, අංග, ජීවිත ලත් කල සීලය බිඳැ ලත්. මෙබඳු සිල් ඛණ්ඩය ජිද්‍ර‍ය. සබලය. කල්මාෂය. භුජිස්ස නොවේ. විඤ්ඤැප්පසත්‍ථ නොවේ. පරාමට්ඨ වේ. සමාධිසංවත්තනික නොවේ. නිවන් පිණිස නො පවතී.

 

වදාළේ මැ යි. පටිසම්භිදායෙහි :-

 

“කතමං තං සීලං සපරියන්තං? අත්‍ථ සීලං ලාභපරියන්තං, අත්‍ථි සීලං යසපරියන්තං, අත්‍ථි සීලං ඤාතිපරියන්තං, අත්‍ථි සීලං අංගපරියන්තං, අත්‍ථි සීලං ජීවිතපරියන්තං, කතමං තං සීලං ලාභපරියන්තං ඉධෙකච්චො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා යථා සමාදින්නසික්ඛාපදං විතික්කමති ඉදං තං සීලං ලාභපරියන්තං -- -පෙ--- එවරූපානි සීලානි කණ්ඩානි ජිද්දානි සබලානි කම්මාසානි න භුඤ්ජිස්සානි - --පෙ --- න නිබ්බානාය සංවත්තන්ති[83] යි.

 

2.  ලාභය, කීර්‍තතිය, ඥාතිය, අඞ්ගය, ජීවිතය යන මොවුන් අතුරෙන් කිසිවක් සීමා නොකොට රක්නා සීලය අපරියන්ත සීලය. ඒ එසේ මැ යි :- ඇතැම් කෙනෙක් සමාදන් ව ගත් ශික්‍ෂාපද ලාභයක් හේතුකොට ගෙන බිඳ පීමෙහි සිතුවිල්ලකුදු නූපදවති. බිඳ නොපියත් යනු කියනු කිම? සමාදන්ව ගත් ශික්‍ෂාපද කීර්‍තති, ඥාති, අඞ්ග, ජීවිත හේතුකොට ගෙන බිඳ පීමෙහි සිතුවිල්ලකුදු නූපදවති. බිඳ නොපියත් යනු කියනු කිම්? මෙබඳු සිල් අඛණ්ඩය, අච්ජිද්‍ර‍ය, අසබලය, අකල්මාෂය, ---පෙ--- - නිවන් පිණිස පවතී.) වදාළේ මැ යි පටිසම්භිදායෙහි :-

 

“කතමං තං සීලං අපරියන්තං? අත්‍ථි සීලං න ලාභපරියන්තං, අත්‍ථි සීලං න ලාභ පරියන්තං, අත්‍ථි සීලං න යසපරියන්තං, අත්‍ථි සීලං න ඤාති පරියන්තං, අත්‍ථි සීලං න අංගපරියන්තං, අත්‍ථි සීලං න ජීවිතපරියන්තං, කතමං තං සීලං න ලාභපරියන්තං ඉධෙකච්චො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා යථා සමාදින්තං සික්ඛාපදං විතික්කමාය චිත්තම්පි න උප්පාදෙති ----පෙ --- එව - රූපානි සීලානි අඛණ්ඩානි අච්ජිද්දානි ---පෙ ---- නිබ්බානාය සංවත්තන්ති”[84] යි.

 

මේය සපරියන්ත, අපරියන්ත සීල නම්.

 

 

සත්තම ද්විකය

     

1.  ලෞකික සීලය හා         2. ලෝකෝත්තර සීලය.

 

1.  ආශ්‍ර‍ව සහිත වූ (පෘථග්ජනයන්ගේ) සියලු සීල ලෞකික ය. එය භවසම්පත් එළවයි. භවනිස්සරණයට ද ප්‍ර‍ත්‍යය වෙයි. වදාළේ මැ යි.

 

‘විනයො සංවරත්‍ථාය, සංවරො අවිප්පටිසාරත්‍ථාය, අවිප්පටිසාරො පාමොජ්ජත්‍ථාය, පාමොජ්ජං පීතත්‍ථාය, පීති පස්සද්‍ධත්‍ථාය, පස්සද්‍ධි සුඛත්‍ථාය
සුඛං සමාධත්‍ථාය, සමාධි යථාභුතඤාණදස්සනත්‍ථාය, යථාභුතඤාණදස්සනං නිබ්බි දත්‍ථාය, නිබ්බිදා විරාගත්‍ථාය, විරාගො විමුත්තත්‍ථාය, විමුත්ති විමුත්තිඤාණදස්සනත්‍ථාය, විමුත්තිඤාණදස්සනං අනුපාදාපරිනිබ්බානත්‍ථාය. එතදත්‍ථා කථා එතදත්‍ථා මහනණා එතදත්‍ථා උපනිසා එතදත්‍ථං සොතාවධානං, යදිදං අනුපාදා විත්තස්ස විමොක්ඛො”[85]

 

2.  ආශ්‍ර‍ව රහිත වූ (සෝවාන් ආදි ආර්‍ය්‍යයන්ගේ) සීල ලෝකොත්තරය, එය භවනිස්සරණය එළවයි. ප්‍ර‍ත්‍යවේක්‍ෂණ ඥානයට ද භූමි වෙයි.

 

මේය ලෞකික, ලෝකෝත්තර ශීල නම්.

 

ද්‍විවිධ සීල නිමියේය.

 

ඉක්බිති ත්‍රිවිධ ශීල දක්වනු ලැබේ.

 

ප්‍ර‍ථම ත්‍රිකය

 

1.  හීන සීල,          2. මජ්ඣිම සීල,      3. ප්‍ර‍ණිත සීල.

 

1.  හීන වූ ඡන්‍දයෙන් හීන වූ චිත්තයෙන් හීන වූ වීර්‍ය්‍යයෙන් හීන වූ ප්‍ර‍ඥායෙන් පවත්වන ලද ශීලය හින ශීලය.

 

2.  මධ්‍යම වූ ඡන්‍දයෙන් මධ්‍යම වූ චිත්තයෙන් මධ්‍යම වූ වීර්‍ය්‍යයෙන් මධ්‍යම වූ ප්‍ර‍ඥායෙන් පවත්වන ලද ශීලය මධ්‍යම ශීලය.

 

3.  ප්‍ර‍ණීත වූ ඡන්‍දයෙන් ප්‍ර‍ණීත වූ චිත්තයෙන් ප්‍ර‍ණීත වූ වීර්‍ය්‍යයෙන් ප්‍ර‍ණීත වූ ප්‍ර‍ඥායෙන් පවත්වන ලද ශීලය ප්‍ර‍ණීත ශීලයි.

 

නොහොත් 1. කීර්ති ප්‍ර‍ශංසා කැමැති ව සමාදන් ව රක්නා ශීලය හීන ශීලය. 2. සිල් රැකීමෙන් මතු උසස් කුල, ස්වර්‍ග ලැබෙන්නේ ය යි සලකා ඒ ආනිසංස පිණිස රක්නා ශීලය මධ්‍යම ශීලය. 3. මෙය මවිසින් කටයුතුමයි සෝවාන් ආදි ආර්‍ය්‍යභාවය අපේක්‍ෂා කොට රක්නා ශීලය ප්‍ර‍ණීත ශීලය යි.

 

නොහොත් 1. ‘සීලවන්ත නම් මම ය, මේ අනෙක් භික්ෂූහු දුශ්ශීලයෝ ය. පාප ධර්‍ම ඇත්තෝය’යි තමන් උසස් කර ගන්නා අදහසින් අනුන් හෙළා දක්නා අදහසින් කිලිටි වූ ශීලය හින ශීලයැ 2. එබඳු අත්තුක්කංසන පරවම්හන අදහසින් නොකිලිටි වූ පෘථග්ජනයන්ගේ ශීලය මධ්‍යම ශීලය. 3. ලෝකෝත්තර ශීලය ප්‍ර‍ණීත ශීල යි.

 

නොහොත් 1. තෘෂ්ණා වශයෙන් භවභෝග සම්පත් පතා රකිනු ලබන ශීලය හීනය. 2. තමා පමණක් සසරින් මිදෙනු සඳහා රකිනු ලබන ශීලය මධ්‍යමය. 3. සියලු සතුන් සසරින් එතර කරනු සඳහා රකිනු ලබන බෝසතුන්ගේ පාරමිතා ශීලය ප්‍ර‍ණීතයි.

 

මේය හීන, මධ්‍යම, ප්‍ර‍ණීත ශීල නම්.

 

ද්විතීය ත්‍රිකය

 

1.  අත්තාධිපතෙය්‍ය,   2. ලොකාධිපතෙය්‍ය, 3. ධම්මාධිපතෙය්‍ය සීල.

 

1.  තමහට නුසුදුසු දේ හැරපියා තමා මැ ගුරුකොට තමා කෙරෙහි මැ ගෞරවයෙන් රක්නා ලද සීලය අත්තාධිපතෙය්‍ය සීලය. (මා වැන්නකු විසින් පව් කිරීම නුසුදුසු යයි ආත්ම ගෞරව උපදවා රක්නා ලද සීලය යි සේයි)

 

2.  ලෝකාපවාදයට බියෙන් ලෝකයා ගරුකොට සමාදන්ව රක්නා සීලය ලෝකාධිපතෙය්‍ය සීලය.

 

3.  ධර්‍ම මහත්ත්‍වයට පුදනු කැමැත්තෙන් ධර්‍ම ගෞරවයෙන් රක්නා සීලය ධම්මාධිපතෙය්‍ය සීලයි. (ධර්‍ම මහත්ත්‍වයට පුදනු කැමැත්ත නම් : “ධර්‍මය මහානුභාව ඇත්තේය. ඒකාන්ත නෛර්‍ය්‍යානිකය, ඒ ධර්‍මය ප්‍ර‍තිපත්තීන් පිදිය යුතුය” යි සලකා ධර්‍මයට පුදනු කැමැති වීමයි.)

 

මේය අත්තාධිපතෙය්‍ය, ලෝකාධිපතෙය්‍ය, ධම්මාධිපතෙය්‍ය සීල නම්.

 

තෘතීය ත්‍රිකය

 

1.  පරාමට්ඨ  2. අපරාමට්ඨ,         3. පටිප්පස්සද්‍ධ සීල

 

1.  පරමට්ඨ සීල නම් : දවිවිධ ශීලයන්හි දක්වන ලද නිස්සිත සීලම ය. ඒ වනාහි ‘මම මේ ශීල හේතුයෙන් ප්‍ර‍සිද්‍ධ හෝ අප්‍ර‍සිද්‍ධ දෙවියෙක් වන්නෙමි’ යි තෘෂ්ණා වශයෙන් ද, ‘ශීලයෙන් ශුද්‍ධිය වන්නේ ය’යි දෘෂ්ටි වශයෙන් ද, පරාමර්‍ශනය කරන (අල්වාගන්නා) ලද බැවින් පරාමට්ඨ සීල නම් වේ.

 

2.  පුථුජ්ජන සීලවන්තයා විසින් සෝවාන් ආදි ආර්‍ය්‍ය මාර්‍ග ලැබීම පිණිස පුරනු ලබන සීලය ද, සප්තශෛක්‍ෂයන්ගේ මාර්‍ග චිත්තයන්හි ලැබෙන විරති චෙතනාදිය ද, තෘෂ්ණා-දෘෂ්ටි විසින් පරාමර්‍ශනය නොකරන ලද බැවින් අපරාමට්ඨ සීල නම් වේ. (සප්ත ශෛක්‍ෂයෝ නම් :- සෝවාන් මාර්‍ගස්ථ ඵලස්ථ, සකෘදාගාමි මාර්‍ගස්ථ ඵලස්ථ, අනාගාමි මාර්‍ගස්ථ ඵලස්ථ, අභීත් මාර්‍ගස්ථ යන මොහුයි.)

 

3.  ශෛක්‍ෂයන්ගේ හා අශෛක්‍ෂයන්ගේ ඵල චිත්තයන්හි ලැබෙන විරති චේතනා ආදීහු කෙලෙස් විඩා සන්සිඳුවන බැවින් පටිප්පස්සද්ධ සීල නම් වෙත්. (අශෛක්‍ෂයා නම් : අභීත් ඵලස්ථයාය.)

 

මේය පරාමට්ඨ, අපරාමට්ඨ, පටිප්පස්සද්ධ සීල නම් :

 

චතුර්‍ථ ත්‍රිකය

 

1.  විසුද්‍ධ,  2. අවිසුද්‍ධ 3. වේමතික සීල

 

1.  ඇවැත්වලට නොපැමිණ මැ රක්නාලද ශීලය ද, ඇවැත්වලට පැමිණ ඇවැත් දෙසා ගැනීම් ආදි වශයෙන් පිළියම් කර ගන්නා ලද ශීලය ද විසුද්ධ සීල නම් වේ.

 

2.  ඇවැත්වලට පැමිණ ඇවැත් දෙසා ගැනීම් ආදි වශයෙන් පිළියම් කරැ නොගන්නා ලද ශීලය අවිසුද්‍ධ සීල නම් වේ.

 

3.  වස්තුයෙහි හෝ ආපත්තියෙහි හෝ අජ්ඣාචාරයෙහි හෝ විමති ඇත්තහු ගේ සීලය වේමතික සීල නම් වේ. (වස්තුයෙහි විමතිය නම් :- මස් වලඳන කල්හි “වලස් මස් දෝ හෝ හූරුමස් දෝ හෝ”යි සැක සහිත වීම ය. (වලස් මස් වැළඳුව දුෂ්කෘත වේ. හූරුමස් නම් ඇවැත් නැති.) මෙසේ වස්තුයෙහි සැක සහිතවීම වස්තුයෙහි විමතිය යි. ආපත්තියෙහි විමතිය නම් :- “තමා පැමිණි ඇවැත පවිතිය දෝ හෝ දුකකටය දෝ හෝ”යි යනාදි වශයෙන් සැක සහිත වීමයි. අජ්ඣාචාරයෙහි විමතිය නම් :- “තමා ඇවැතට පැමිණියේ දෝ නො පැමිණියේ දෝ හෝ”යි සැක කිරීමයි. (යෝගාවචර භික්‍ෂුව විසින් ස්වකීය ශීලය අපිරිසිදු නම් - අවිසුද්‍ධ නම් ඇවැත් දෙසා ගැනීම් ආදි වශයෙන් පිරිසිදු කර ගත යුතු ය. වේමතික නම් වස්තු අජ්ඣාචාර නො කොට විනය ධරයන් විචාරා විමති දුරු කට යුතුයි. එසේ ඇති කල්හි ඒ භික්‍ෂු හට සුව පිණිස වේ.)

 

මේය විසුද්‍ධ, අවිසුද්‍ධ, වේමතික සීල නම්.

 

පංචම ත්‍රිකය

 

1.  සෙඛ,           2. අසෙඛ, 3. නෙවසෙඛනාසෙඛ සීල

 

1.  ශෛක්‍ෂයන් ගේ මාර්‍ග-ඵල චිත්තයන්හි යෙදුණු විරති චේතනා ආදිහු සෙඛ සීල නමි.

 

2.  අශෛක්‍ෂයා ගේ ඵල චිත්තයන්හි යෙදුණු විරති චේතනා ආදිහු අසෙඛ සීල නමි.

 

3.  පෘථග්ජනයන් ගේ ශීල නෙවසෙඛනාසෙඛ සීල නම් වේ.

 

මේය සෙඛ, අසෙඛ, නෙවසෙඛවනාසෙඛ සීල නම්.

 

සීලය යි ස්වභාවයට ද කියනු ලැබේ. සැප ස්වභාව ඇත්තේ සුඛ සීල ය. දුක් ස්වභාව ඇත්තේ දුක්ඛ සීලය කලහ කරන ස්වභාව ඇත්තේ කලහ සීල යනාදි වශයෙනි. සීල ශබ්දයා ගේ මේ ස්වභාවාර්‍ථය සලකා පටිසම්භිදා නම් ධර්‍ම ග්‍ර‍න්‍ථයෙහි :-“තීනි සීලානි කුසලං සීලං අකුසලං සීලං අඛ්‍යාකතං සීලං[86]”යි ‘කුසල සීලය, අකුසල සීලය’යි අන්‍ය වූ ද ත්‍රිවිද ශීලයෙක් දක්වන ලද්දේ ය. අකුසල සීල යනු යට දක්වන ලද ශීල ලක්ෂණයන් අතුරෙන් එකකටවත් අයත් නොවන බැවින් මේ ත්‍රිවිධ ශීලය විශුද්‍ධිමාර්‍ගයෙහි ඇතුළත් නොකරන ලද බව දත යුතුයි.

 

ත්‍රිවිධ ශීල නිමියේ ය.

 

චතුර්විධ ශීල මෙසේ ය.

 

 

ප්‍ර‍ථම චතුෂ්කය

 

1.  හානභාගිය      2. ඨිතිභාගිය   3. විසෙසභාගිය 4. නිබ්බෙධභාගිය සීල.

 

1.  පිරිහීමට නැමීගත් සීලය හානභාගිය සීලය.

 

ඒ එසේ මැ යි :- “යම් අඥානයෙක් දුස්සීලයන් සේවනය කරමින් සීලවන්තයන් සේවනය නොකරමින් වරද කිරීමෙහි දෝෂ නොදකිමින් බොහෝ මිථ්‍යා අදහස් උපදවමින් ඉන්‍ද්‍රිය සංවරයක් නැතිව වාසය කෙරේ ද, එබඳු වූවහුගේ සීලය හානභාගිය සීල වේ.”

 

2.  පිරිහීමටත් නොපැමිණ අභිවෘද්‍ධියටත් නොපැමිණ තුබූ සැටියේ මැ පවත්නා සීලය ඨිතිභාගිය සීලය.

 

ඒ එසේ මැ යි :- “යමෙක් තමාලත් සීල සමාපත්ති මාත්‍රයෙන් සතුටුව කර්‍මස්ථාන පිණිස අදහස් මාත්‍ර‍යකුදු නූපදවා වාසය කෙරේ ද, එබඳු වූවහුගේ සීලය ඨිතිභාගිය සීල වේ.”

 

3.  සමාධි සංඛ්‍යාත විශේෂය පිණිස නැමීගත් සීලය විසෙසභාගිය සීලය.

 

ඒ එසේ මැ යි :- යමෙක් සීල සම්පන්න ව මතු සමාධි පිණිස උත්සාහ කෙරේ ද, එබඳු වූවහුගේ සීලය විසෙසභාගිය සීල වේ.

 

4.  නිබ්බෙධ සංඛ්‍යාත විදර්‍ශනා පිණිස නැමීගත් සීලය නිබ්බෙධභාගිය සීලය.

 

ඒ එසේ මැ යි :- යමෙක් තමා ලත් ශීල මාත්‍රයෙන් සතුටු නොව විවසුන් වඩා නිවන් දක්නා පිණිස උත්සාහ කෙරේ ද, එබඳු වූවහුගේ සීලය නිබ්බෙධභාගිය සීල වේ.

 

මේය හානභාගිය, ඨිතිභාගිය, විසෙසභාගිය, නිබ්බෙධභාගිය සීල නම්.

 

ද්විතීය චතුෂ්කය

 

1.  භික්ඛු   2. භික්ඛුණී 3. අනුපසම්පන්න,     4. ගහට්ඨ සීල.

 

1.  භික්‍ෂූන් උදෙසා පණවන ලද ශික්‍ෂාපද ද, භික්ඛුණීන් උදෙසා පණවන ලද ශික්‍ෂාපදයන් අතුරෙන් භික්‍ෂූන්ටත් සාධාරණ ශික්‍ෂාපද ද භික්‍ෂු ශීල නම් වේ.

 

2.  භික්‍ෂූණීන් උදෙසා පණවන ලද ශික්‍ෂාපද ද, භික්‍ෂූන් උදෙසා පණවන ලද භික්‍ෂුණීන්ටත් සාධාරණ ශික්‍ෂාපද ද භික්ඛුණී සීල නම් වේ.

 

3.  සාමණේරයන්ගේ හා සාමණේරීන්ගේ දස සීල අනුපසම්පන්න සීල නම් වේ.

 

4.  උපාසක උපාසිකාවන්ට නිත්‍ය ශීල වශයෙන් පණවා වදාළ පංච ශික්‍ෂාපද ද, උත්සාහ ඇති කල්හි රැක්ක යුතු යයි වදාළ දශ ශික්‍ෂාපද ද, උපොසථාඞ්ග වශයෙන් පණවා වදාළ අෂ්ටශික්‍ෂාපද ද ගහට්ඨ (ගිහි) නම් වේ.

 

මේය භික්ඛු, භික්ඛුණී, අනුපසම්පන්න, ගහට්ඨ සීල නම්.

 

තෘතීය චතුෂ්කය

 

1.  පකති   2. ආචාර  3. ධම්මතා 4. පුබ්බහෙතුක සීල.

 

1.  ස්වභාවයෙන් රැකෙන සීලය පකති සීලය. උතුරුකුරු දිවයින් වැසි මනුෂ්‍යයන්ට පංචසීලය ස්වභාවයෙන් ම රැකෙයි. එහෙයින් ඔවුන්ගේ සීලය ප්‍ර‍කෘති ශීල නම් වේ.

 

2.  කුල, දේශ, තීර්‍ථක යන මොවුන් අතර පවත්නා යහපත් සිරිත් ආචාර සීලය.

 

ඒ එසේ මැ යි :- ඇතැම් කුලයන්හි රහමෙර පීම ඒ කුලවල ආදි පුරුෂයන් විසින් තහනම් කරන ලද්දේ වේ. ඇතැම් දේශයන්හි ප්‍රාණඝාත කිරීම ඒ දෙශාධිපතීන් විසින් තහනම් ලද්දේ වේ. තීර්‍ථකයන් අතර යම-නියම ඇත්තේය. එයට අනුව යමෙක් හැසිරෙයි ද එය ආචාර සීලයයි සේයි.

 

3.  බෝසත් මාතාවන්ගේ සීලය ධම්මතා සීලය.

 

වදාළේ මැ යි :- “ධම්මතා එසා ආනන්‍ද යදා බොධිසත්තො මාතු කුචජිං ඔක්කනෙතා හොති න බොධිසත්තමාතු පුරිසෙසු මානසං උපපජ්ජති කාමගුණූපසංහිතං”[87] යි.

 

“ආනන්‍දය! යම් දිනෙක බෝධිසත්ත්‍වයෝ මාතෘකුක්‍ෂියෙහි පිළිසිඳ ගනිද්ද, එ තැන් පටන් බෝසත් මාතාවන්ට පුරුෂයන් කෙරෙහි කාම කල්පනා පහළ නො වෙයි යන මෙය ධර්‍මතාවෙක” යනාදීන් දක්වන ලද්දේ ධම්මතා සීලය.

 

4.  පූර්‍වහේතුයෙන් මැ ජනිත සීලය පුබ්බහෙතුක සීලය. මහාකාශ්‍යපාදි ශුද්‍ධසත්ත්‍වයන්ගේ ද, බොධිසත්ත්‍වයන්ගේ ද ඒ ඒ ජාතීන්හි පැවැති සීලය පුබ්බහෙතුක සීලය යි කී නියාය. ඒ එසේ මැ යි :- පිප්ඵලිමානවක හා භද්දකාපිලානි ස්වකීය මධුරාත්‍රිය පවා වීතිරාගයන් සේ ගත කළහ. බෝසත් සීලව රජතුමා පර පණ නොනසා තෙමේ ජීවග්‍රාහයෙන් අසුවූයේ ය.

 

මේය පකති, ආචාර, ධම්මතා, පුබ්බහේතුක සීල නම්.

 

චතුර්‍ථ චතුෂ්කය

 

1.  පාතිමොක්ඛ සංවර,           2. ඉන්‍ද්‍රිය සංවර

3.  ආජීව පාරිසුද්‍ධි               4. පච්චයසන්නිස්සිත සීල

 

1.  ප්‍රාතිමොක්‍ෂයෙහි වදාළ ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍ම නොකොටැ රැකගැන්මාදිය පාතිමොක්ඛසංවර සීලය.

 

වදාළේ මැ යි:- ‘ඉධ භික්ධු පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාර ගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදෙසු”[88] යි.

 

2.  චක්ඛු, සෝත, ඝාණ, ජිවහා, කාය, මන යන ෂට් ඉන්‍ද්‍රියයන් සංවර කර ගැන්ම ඉන්‍ද්‍රිය සංවර සීලය.

 

වදාළේ මැ යි :- “සො චක්ඛුනා රූපං දිසවා න නිමිත්තග්ගාහි හොති නානුඛ්‍යඤ්ජනග්ගාහි, යත්‍වාධිකරණ මෙතං චක්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ක්‍ඞා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍ටාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්‍ටා --පෙ-- ඝාණෙන ගන්‍ධං ඝායිත්‍වා...පෙ---- ජිවහාය රසං සායිත්‍වා---පෙ---- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්‍ටාමනසා ධම්මං විඤ්ඤායථ න නිමිත්තග්ගාහි හොති. නානුඛ්‍යජනග්ගාහි, යත්‍වාධිකරණමෙතං මනින්‍ද්‍රියං අසංවුතං විහරන්තා අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍ටාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති මනින්‍ද්‍රියං මනින්‍ද්‍රියෙ සංවරං ආපජ්ජතී[89] යි.

 

3.  ආජීවය හේතු කොට ගෙන පණවා වදාළ සවැදෑරුම් ශික්‍ෂාද ව්‍යති ක්‍ර‍මණය කිරීම් වශයෙන් ද; කුහනා, ලපනා, නෙමිත්තිකතා, නිප්පෙසිකතා, ලාභෙන ලාභං නිජිගිංසනතාදි පාපධර්‍මයන්ගේ වශයෙන් ද පවත්නා වූ මිච්ඡාජීවයෙන් වැළකීම ආජීවපාරිසුද්‍ධි සීලය.

 

4.  “පටිසංඛා යොනිසො වීවරං පටිසෙවාමි යාවදෙව සිතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය”[90] යනාදීන් ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කොට සිව්පස පරිභොග කිරීම පච්චය සන්නිඝසිත සීලයි.

 

මේ චතුපාරිසුද්‍ධි සීලය පිළිබඳ විස්තර විනිශ්චය කථාව පිළිවෙළින් මතු දක්වනු ලැබේ.

 

1.  ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය

 

“ඉධ භික්ඛු පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදෙසු”[91] යන ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය සඳහා විභඞ්ගප්‍ර‍කරණයෙහි පුග්ගලාධිට්ඨාන වසයෙන් වදාළ පාළියයි. ‘මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්ත වැ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වැ ස්වල්ප වරදෙහි පවා භය දක්නා සුලු වැ වාසය කරන්නේ ය. ශික්‍ෂාපදයෙන් සමාදන් වැ රකින්නේ ය’ යනු එහි සංක්‍ෂිප්ත අදහස යි.

 

පදයක් පාසා විවරණය මෙසේ දතයුතු.

 

ඉධ = මේ ශාසනයෙහි.

 

භික්ඛු = “සංසාරෙ භයං ඉක්ඛතී ති භික්ඛු” සසර බිය දක්නේ නුයි භික්‍ෂු. ජින්න භින්න පටධරත්තා භික්ඛු” කඩ කඩ කොට කැපූ වස්ත්‍ර‍ධරණ හෙයින් භික්‍ෂු යනාදි වශයෙන් නම් ලත් සැදැහැයෙන් සසුන් වන් කුලදරුවා.

 

පාතිමොක්ඛසංවර සංවුතො = ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්ත වැ. මෙහි පාතිමොක්ඛ නම්, ශික්‍ෂාපද ශීලය. “යො නං පාති රක්ඛති, තං මොක්ඛෙති මොචෙති අපායිකාදිහි දුක්ඛෙහිති පාතිමොක්ඛං”[92] යනු එහි විග්‍ර‍හ වාක්‍යයි. ‘යම් ශීලයක් තෙමේ තමා රක්නහු අපායිකාදි දුඃඛයන්ගෙන් මුදා ගන්නේද, ඒ සීලය පාතිමොක්ඛ නම් වේ’. යනු එහි අදහසයි. සංවර නම් කයෙන් හෝ වචනයෙන් ශික්ෂාපද ව්‍යතික්‍ර‍මණය නො කිරීමයි. හෙවත් නොබිඳීමයි. සංවුත නම් මෙහි යුක්ත යන අර්‍ථයි.

 

විහරති = වාසය කරයි.

 

ආචාර ගෝචර සම්පන්නො = ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වැ. මෙහි විහඞ්ගප්‍ර‍කරණයෙහි මෙසේ විස්තර කරන ලදී. “ආචාරගෝචර සම්පන්නොති අත්‍ථ ආචාරො අත්‍ථ අනාචාරො. තත්‍ථකතමො අනාචාරො? කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායික වාචසිකො වීතික්කමො අයං වුච්චති අනාචාරො. සබ්බංපි දුස්සීල්‍යං අනාචාරො. ඉධෙකච්චො වෙළුදානෙන වා පත්තදානෙන වා පුප්ඵ ඵල - සිනාන - දන්තකට්ඨදානෙන වා චාටුකම්‍යතාය වා මුග්ගසුප්පතාය වා පාරිභට්ටතාය වා ජඞ්ඝපෙසනිකෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන බුද්‍ධපතිකුඨෙන මිච්ඡාජිවෙන ජීවිකං කප්පෙති අයං වුච්චති අනාචාරො.

 

තත්‍ථ කතමො ආචාරො? කායිකො අවීතිකකමො වාචසිකො අවිතික්කමො කායික වාචසිකො අවීතික්කමො අයං වුච්චති ආචාරො, සබ්බො පි සිලංසංවරො ආචාරො. ඉධෙකච්චො න වෙළුදානෙන න පත්ත-න පුප්ඵ - ඵල න සිනාන-න දන්තකඨදානෙන න චාටුකම්‍යතාය න මුග්ග සුප්පතාය න පාරිභට්ටතාය න ජඞ්ඝපෙසනිකෙන න අඤ්ඤතරඤ්ඤතරෙන බුද්‍ධපතිකුඨෙන මිච්ඡාජිවෙන ජීවිකං කප්පෙති අයං වුච්චති ආචාරො”[93] යි.

 

මෙහි භාවය මෙසේ ය.

 

‘ආචාරගොචරසම්පන්නො යන මෙහි ආචාරයෙක් ද ඇත. අනාචාරයෙක් ද ඇත. එහි අනාචාරය යනු කිම? කයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය කිරීම, වචනයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය කිරීම, කයෙන් හා වචනයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය කිරීම යන මේ අනාචාරයයි කියනු ලැබේ. තවද සියලු දුශ්ශීල කර්‍ම අනාචාරය.

 

ඒ එසේ මැ යි :- මේ සසුන් වන් ඇතැම් පැවිද්දෙක් හුණු, කොළ, මල්, ඵල, නහනු දැවටු ගිහියන් සිත් ගන්නා පිණිස දෙන්නේ ය. චාටුකම්‍යතා, මුග්ගසුප්පතා, පාරිභට්ටකතා, ජඞ්ඝපෙසනිකතා යන මෙයින් ද අන්‍යවූත් බුදුන් විසින් පිළිකුල් කොට වදාළ මිථ්‍යාජීවයෙන් ද ජීවිකා පවත්නේ ය. මෙය ආනාචාරය යි කියනු ලැබේ.

 

මෙහි චාටුකම්‍යතා නම් :- භික්‍ෂූන් විසින් ගිහියන්ගේ සිත් ගන්නා පිණිස ගිහියන් උසස් තන්හි තබා තමන් පහත් තන්හි තබා කථා කිරීම ය.

 

මුග්ගසුප්පතා නම් :- මුං ඇට තැම්බූ කල වැඩි කොටස නො පැසී මඳ කොටසක් පැසී තිබෙන්නා සේ කථා කරන කල්හි වැඩි කොටස අසත්‍ය වීම හා මඳ කොටසක් මැ සත්‍ය වීම ය.

 

පාරිභට්ටතා නම් :- කිරිමවුන් මෙන් කුඩා දරුවන් වඩා ගෙන ආදර දැක්වීම ආදිය.

 

ජඞ්ඝපෙසනිකතා නම් :- ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙන යාමයි. අන්‍ය වූ බුද්‍ධපතිකුඨ මිච්ඡාජීව නම්, වෙදකම් කිරීම් නැකැත් කීම් ආදිය යි. (මෙය මතු ද විස්තර වශයෙන් දක්වනු ලැබේ)

 

“ගොචරොති අත්‍ථි ගොචරො, අත්‍ථි අගොචරො. තත්‍ථ කතමො අගොචරො? ඉධෙකච්චො වෙසිය ගොචරොවා හොති, විධව - ථුල්ලකුමාරික - පණ්ඩක - භික්ඛුණී - පානාගාර ගොචරො වා හොති, සංසට්ඨො විහරති, රාජුහි රාජමහාමත්තෙහි තිත්‍ථථියෙහි තිත්‍ථිය සාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන, යානි වා පනතානි - කුලානි අස්සද්‍ධානි අප්පසන්නානි අක්කොසක පරිහාසකානි අනත්‍ථකාමානි අහිතකාමානි අඵාසුකාමානි අයොගක්ඛෙමකාමානි භික්ඛුනං භික්ඛුණීනං උපාසකානං උපාසිකානං, තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති. අයං වුච්චති අගොචරො.

 

තත්‍ථ කතමො ගොචරො? ඉධෙකච්චො න වෙසිය ගොචරො හොති ---පෙ--- න පානාගාර ගොචරො අසංසටෙඨා විහරති රාජූහි ---පෙ--- තිත්‍ථිය සාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන, යානි වා පන තානි කුලානි සද්‍ධානි පසන්තානි ඔපානභුතානි, අත්‍ථකාමානි ---පෙ---- යොගක්ඛෙම කාමානි භික්ඛුනං ---පෙ--- උපාසිකානං තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති. අයං වුච්චති ගොචරො”[94]

 

මෙහි භාවය මෙසේ ය.

 

ගොචරො” යයි කියූ තන්හි ගෝචරයෙක් ද ඇත. අගේචරයෙක් ද ඇත, එහි අගෝචරය යනු කිම? මේ සසුන්වන් ඇතැම් පැවිද්දෙක් වෙසඟනන්, වැන්දඹු ගැහැනුන්, වැඩිවිය පැමිණ ස්වාමි කුලයට නොගොස් ගෙහි වසන තරුණියන්, පණ්ඩකයන්, භික්ෂුණීන්, මත්පැන් ගෝචර කොට වෙසෙයි. රජුන් හා රාජ මහාමාත්‍යයන් හා තීත්‍ථකයන් හා තීත්‍ථක ශ්‍රාවකයන් හා නුසුදුසු සංසර්‍ගයෙන් හැනී වෙසෙයි භික්‍ෂූන්ට භික්‍ෂුණීන්ට උපාසකයන්ට උපාසිකාවන්ට අකෝසා පරිකෝසාබණින ඔවුන්ට අනත්‍ථ කැමැති අභිත කැමැති අපහසු කැමැති භය කැමැති සැදැහැ පැහැදුම් නැති කුලගෙවල් සේවනය කරයි. භජනය කරයි. පයිරුපාසනය කරයි. මෙය අගෝචර යි කියනු ලැබේ.

 

(මෙහි වෙසඟනන් ......පෙ..... භික්‍ෂුණීන් ඇසුරු කිරීම ඔවුන් රාගාධිකයන් බැවින් ශ්‍ර‍මණ ධර්‍මයට අන්තරාය කර ය.

 

රාජරාජාමාත්‍යයන් ඇසුරු කිරීම නුසුදුසු ලාභ සත්කාර උපදවන බැවින් සම්‍යක් ආජීවයට අන්තරාය කර ය.

 

තීත්‍ථක තීත්‍ථකශ්‍රාවකයන් ඇසුරු කිරීම දෘෂ්ටි විපත්තියට හේතුවන බැවින් සම්‍යක් දෘෂ්ටියට අන්තරාය කර ය. සැදැහැ නැති කුලයන් සේවනය කිරීම ශ්‍ර‍ද්ධා හානියට හා චිත්තබේදයට හේතු ය.)

 

ගෝචර නම් කිම? මේ සසුන් වන් ඇතැම් පැවිද්දෙක් වෙසඟනන්, වැන්දඹු ගැහැනුන්, වැඩිවිය පැමිණැ ස්වාමි කුලයට නොගොස් ගෙහි වසන තරුණියන්, පණ්ඩකයන්, භික්‍ෂුණීන්, මත්පැන් සැල් ගෝචර කොට නො වෙසෙයි. රජුන් හා රජ මැතිනියන් හා අත්තොටුවන් (අන්‍යතීර්ථකයන්) හා අත්තොටු සව්වන් හා නුසුදුසු සංසර්‍ගයෙන් හැනී නො වෙසෙයි. භික්‍ෂු ආදි සිවුපිරිසට නිති සිවුපසයෙන් උපස්ථාන කරන - භික්‍ෂු භික්‍ෂුණීන් ගේ කෂාය වස්ත්‍රයෙන් බැබලී ගත් - ඔවුන්ගෙන් නිතර ගැවසී ගත් ඔවුන්ට හිත වැඩ කැමති - ඔවුන්ට පහසු හා නිර්‍භය කැමැති-සැදැහැ පැහැදුම් ඇති කුලයන් සේවනය කරයි. භජනය කරයි. පයිරුපාසනය කෙරෙයි මෙය ගෝචරය යි කියනු ලැබේ.

 

යට දැක්වූ ආචාරයෙන් හා මේ ගෝචරයෙන් යුක්ත වූ යේ ආචාර ගෝචර සම්පන්නයි.

 

මේ ආචාර ගෝචරය පිළිබඳ මතු දක්වනු ලබන ක්‍ර‍මය ද දැනගත යුතු.

 

1. කායික අනාචාරය,       2. වාචසික අනාචාරය යි

 

අනාචාර ද්‍විවිධ වේ.

 

1. කායික අනාචාරය :- මේ සසුන් වැදැ පැවිදි වූ ඇතැම් මහණ කෙනෙක් සඞ්ඝ සභාවට ද එළඹ ස්ථවිර භික්‍ෂූන් කෙරෙහි ගරුසරු නැති වැ ඔවුන් සිව්රෙන් සිව්ර හා ඇඟින් ඇඟ ගටමින් සිටිති. හිඳිති. ඔවුන් අභිමුඛයෙහි ද එසේ මැ සිටිති. හිඳිති. උසසුන්හි දු හිඳ ගනිති. හිස වසා පොරවා ගෙන ද හිඳිති. ගරු සරු නැති වැ සිට ගෙන ද අත් වනමින් ද කථා කෙරෙති. මහතෙරුන් පා වහන් නැති වැ සක්මන් කරන කල තුමු වහන් නැගී ද, මහතෙරුන් පහත් වූ සක්මන් හි සක්මන් කරන කල තුමූ උස් වූ සක්මන් හි නැගී ද සක්මන් කෙරෙති. මහතෙරුන් හිඳිනා තන්හි වැද හිඳිති. නවක භික්‍ෂූන් අසුන්වලින් නෙරපති. ජන්තාඝරයට වැද මහතෙරුන් නොවිචාරා උදුනෙහි දර දමති. දොරවල් ද වසති. පැන් නහනා තොටට ගොස් මහතෙරුන් ඇඟ ගැටෙමින් ඔවුන් ඉදිරියෙහි වෙමින් තොටට බසිති. නහති. තොටින් නැඟෙති. ගමට වදනා කල්හි ද ස්ථවිර භික්‍ෂුන් ඇඟ ගටමින් යෙති. ඔවුන් ඉදිරියෙහි ද ගමන් කරති. කුලස්ත්‍රීන්, කුලකුමාරිකාවන් වසන පිළිසන් ගැබ් ගෙවලට ලා හෙළා වදිති. බාල දරුවන්ගේ හිස පිරිමදිත් මේ කායික ආනාචාරය යි දතයුතු.

 

2. වාචසික අනාචාරය- මේ සසුන් වැදැ පැවිදි වූ ඇතැම් මහණ කෙනෙක් මහතෙරුන් නොවිචාර බණ කියති. ප්‍ර‍ශ්න විසඳති. ඇතුල් ගෙවලට ද වැද ඒ ඒ කුලස්ත්‍රීන් ගේ කුලකුමාරීන් ගේ නම් ගොත් කිය කියා ආමන්ත්‍ර‍ණය කෙරෙමින් “කුමක් තිබේ ද කැඳ තිබේ ද බත් තිබේ ද කැවිලි තිබේ ද කුමක් කම් ද කුමක් බොම් ද කුමක් බුදිම්දැ” යි ශ්‍ර‍මණ සාරුප්‍ය නොවු විකාර කථා කෙරෙත්. මේ වාචසික අනාචාරය යි දතයුතු.

 

මේ දැක්වූ කායික අනාචාරය හා වාචසික අනාචාර නොකිරීම ආචාරය වන්නේ ය.

 

තවද යම් කිසි භික්‍ෂු කෙනෙක් සෙසු වැඩිමහලු භික්‍ෂූන් කෙරෙහි ගෞරව හා යටත් පැවතුම් ඇති වැ - ලජ්ජා බියෙන් යුක්ත වැ - මනාකොට හැඳැ පෙරවැ- දුටුවන් පහදනා ගමනා - ගමනයෙන් ආලෝකන විලෝකනයෙන් අත් පා දිගුකිරීමෙන් හැකිලීමෙන් යුක්ත වැ, යට හෙළා ලු ඇස් ඇති වැ මනා ඉරියව්වලින් රැඳී ඉඳුරන් රැකවල් කොට ගෙන පමණ දැනැ වළඳමින් නින්දෙහි තත්පර නොවැ සිහි නුවණෙන් යෙදී අල්පේච්ඡ ව ලත් දෙයින් සතුටු ව අත් නොහළ වීර්‍ය්‍ය ඇති වැ ආභිසමාචරික වත් පිළිවෙත් සකස් වැ පුරමින් ගරුසරු ඇති වැ ආභිසමාචාරික වත් පිළිවෙත් සකස් වැ පුරමින් ගරුසරු ඇති වැ වෙසෙත් නම් එය ද ආචාරය යි කියනු ලැබේ.

 

ගෝචර වනාහි 1. උපනිස්සය ගොචරය, 2. ආරක්‍ඛ ගොචරය, 3. උපනිබන්‍ධ ගොචර යි ත්‍රිවිධ වේ.

 

1. උපනිස්සය ගෝචර නම්:- අල්පේච්ඡ කථා ආදි දශවිධ කථාවන්ට පිහිටි වූ ගුණෙන් යුත් කල්‍යාණ මිත්‍ර‍යායි හේ කෙබඳුවිය යුතු ද යත්? යම්බඳු කල්‍යාණ මිත්‍ර‍යකුගේ ආශ්‍රයෙන් පෙර නොඇසූ විරූ ධර්‍මම අසන්නේ ද, ඇසූවිරූ ධර්‍මම පිරිසිදු කර ගන්නේ ද, සැක තුබූ තන්හි සැක දුරු කර ගන්නේ ද, ස්වකීය දෘෂ්ටිය සෘජුකර ගන්නේ ද, සිත ප්‍ර‍සන්න වන්නේ ද, වැළිත් යම් කළ්‍යාණ මිත්‍ර‍යකු ගේ ආශ්‍රයෙන් ශ්‍ර‍ද්ධා ශීල-ශ්‍රැත-ත්‍යාග-ප්‍ර‍ඥා යන පංච ධර්‍මමයෙන් තෙමේ වැඩෙන්නේ ද, එබඳු ආචාර්‍ය්‍ය මෙහි කළ්‍යාණ මිත්‍ර‍ - (උපනිස්සය ගොචර) නම් වේ යයි දතයුතු.

 

2. ආරක්ඛ ගෝචර නම් :- ඉන්‍ද්‍රියයන් සංවර කර ගැන්මයි. ඒ එසේ මැයි :- මේ සසුන් වන් පැවිදි තෙමේ ගමට වේවයි, වීථියට වේවයි වන් කල යට හෙළා ලූ ඇස් ඇති වැ වියදඬු පමණ බලමින් සංවර යුක්ත ව ගමන් කරයි ද, ඇතුන්, අසුන්, රථ, පාබලසෙනඟ දිසා බලමින් ස්ත්‍රීන් පුරුෂයන් දිසා බලමින් ගමන් නොකරයි ද, උඩ බලාගෙන හෝ පමණට වඩා බෙල්ල නවා බිම බලාගෙන ම හෝ ගමන් නොකරයි ද, දිසානුදිසාවන් (වටපිට) බල බලා හෝ ගමන් නොකරයි ද මේ ආරක්ඛ ගෝචර යයි දතයුතු.

 

උපනිබන්‍ධ ගෝචර නම් :- සිත බැඳ තැබීමට - (භාවනාවට) අරමුණු එනම් :- සතර සතිපට්ඨාන යි.

 

වදාළේ මැ යැ. “කො ච භික්ඛවෙ භික්ඛුනො ගෝචරො සකො පෙත්තිකො විසයො යදිදං චත්තාරො සතිපට්ඨානා[95] යි ‘මහණෙනි, භික්‍ෂු හට සිය පිය සතු ගෝචරය කුමක් ද මේ සතර සතිපට්ඨානයෝ ය’ යනු එහි බාවයි. මේ උපනිබන්‍ධ ගෝචරය යි දතයුතු.

 

මේ දැක්වූ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ ද ආචාරගෝචර සම්පන්න නම් වේ යයි දතයුතු.

 

අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී = පරමාණු තරම් වූ ඉතා ස්වල්ප වරදෙහි පවා භය දක්නා සුලු වැ (ඉතා ස්වල්ප වරද නම් නොදන මතක නැති වැ පැමිණෙන සේඛියා ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණ හා අකුසල සිත් ඉපදීම් ආදිය එබඳු සුලු වරද පවා පාරාජිකාපත්තියක් තරම් කොට සලකමින් යූ සේයි.)

 

සමාදාය සික්ඛති සික්ඛාපදෙසු = භික්‍ෂූන් විසින් ශික්‍ෂාපදයන් අතුරෙන් යමක් සමාදන් ව ගෙන රැක්ක යුතු ද ඒ සියල්ල රක්නේය යන අර්‍ථයි.

 

(මෙහි “පාතිමොක්ඛ සංවරසංවුතො” යන පදයෙන් මැ පුග්ගලාධිට්ඨාන- දේසනා වසයෙන් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය වදාරන ලදී. සෙසු “ආචාරගෝචර සම්පන්නො” යනාදිය ඒ ශීලය රක්නහුගේ ප්‍ර‍තිපත්ති දක්වන පිණිස වදාරන ලදී. පුග්ගලාධිට්ඨානදේසනා නම්, ශීලය දැක්වුවමනා තන්හි ඒ ශීලය ඇති පුද්ගලයා වර්‍ණනා කොට දැක්වීමයි.)

 

ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය නිමියේ ය.

 

 

2.  ඉන්ද්‍රිය සංවර ශීලය

 

“සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෙති නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්‍වාධිකරණමෙතං චක්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍වාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්‍වා, ඝාණෙන ගන්‍ධං ඝායිත්‍වා, ජිව්හාය රසං සායිත්‍වා, කායෙන ‍ඵොට්ඨබ්බං ඵුසිත්‍වා, මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති......පෙ.... මන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති[96] යනු ඉන්‍ද්‍රිය සංවර සඳහා විභඞ්ගයෙහි වදාළ පාළියි. මෙහි අභිප්‍රාය පද පිළිවෙළින් දක්වනු ලැබේ.

 

සා= ඒ ප්‍රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්ත වූ භික්‍ෂු.

 

චක්ඛුනාරූපං දිස්වා= චක්‍ෂුර්විඥානයෙන් රූප දැකැ(මෙහි චක්ඛු ශබ්දයෙන් රූපදර්‍ශනයට සමර්‍ථ වූ චක්ෂුර්විඥානය වදාළ බැව් දතයුතු.)

 

මේ පිළිබඳ පුරාණචාර්‍ය්‍යවරයන් ගේ මතය මෙසේ ය.

 

“ඇසට රූප නොදැක්ක හැකි ය. ඇස සිත නොවන හෙයිනි. සිතට ද රූප නො දැක්ක හැකි ය. සිත ඇස නොවන හෙයිනි. එසේ නම් ‘ඇසින් රූප දක්නේ ය’ යනු කෙසේ වන්නේ ද යත්? චක්‍ෂුර්ද්වාරයෙහි රූපාරම්මණය ගැටුණු විට ඒ චක්‍ෂුඃප්‍රාසාදය වස්තු කොට ඇති සිතින් රූප දක්නේ ය. ‘දුන්නෙන් විදියි’ කීකල දුන්න හේතු කොට ගෙන ඊතලයෙන් විදින්නාක් මෙනි. එහෙයින් “චක්ඛුනා රූපං දිස්වා” යූ තැන චක්‍ෂුර්විඥානයෙන් රූප යන අර්‍ථය දත යුතු ය” යනුයි.

 

න නිමිත්තග්ගාහි= පියොවුර ආදි ස්ත්‍රී නිමිති හෝ දැළි රැවුලු ආදි පුරුෂ නිමිති හෝ කෙලෙස් උපදීමට හේතු වන අන්‍ය නිමිති හෝ නොගන්නේ ය. හුදෙක් දුටු දෙය දුටු සැටියෙකින් මැ සලකා ගන්නේ ය යි සේයි.

 

න අනුබ්‍යඤ්ජනග්ගාහි= අනුබ්‍යඤ්ජන නොගන්නේ ය. අනුබ්‍යඤ්ජන නම්, කෙලෙස් ප්‍ර‍කට භාවයට පමුණුවන අත් පා සිනා කියුම් බැලුම් ආදිය පිළිබඳ ආකාරයි. එබඳු ආකාර ශුභ වශයෙන් නොගෙන ඇති සැටියේ අසුභ වශයෙන් මැ ගන්නේ යයි සේයි. සෑගිරියෙහි විසු මහාතිස්ස තෙරුන්නාන්සේ මෙනි.

 

මහාතිස්ස තෙරුනාන්සේගේ කථාව

 

සෑගිරියෙහි (මිහින්තලේ) විසූ මහාතිස්ස තෙරුන්නාන්සේ එක් දවසක් අනුරාධපුරයට පිඬු පිණිස වඩිමින් සිටිසේක. අනුරාධපුරයෙහි විසූ එක් කුලඟනක් සිය සැමියා කලහ කොට ගෙන ‘මේ වද විඳුවන දීගයට වඩා හුදෙකලාව ගෙයි රැඳුම යෙහෙකැ’යි සලකා ඇති මට්ටමින් හැඳ පැලඳ දෙවඟනක් මෙන් සැරසී උදෑසන මැ මිහින්තලේ දිසාවට යනු පිණිස මඟට බැස්සා ය. මාර්‍ගයෙන් ගමන් ගත් ඕ තොමෝ සන්සුන් පියොවින් මඟ වඩින වන්‍දනීය වූ තෙරුන් වහන්සේ දැක නින්‍දනීය අදහසක් උපදවා උන්වහන්සේ ලවා තමා දිසා බලනු පිණිස ශබ්ද නඟා කොමල සිනාවක් සීපුය. මූල කර්‍මස්ථානය මෙනෙහි කරමින් වඩින තෙරුන්වහන්සේ ඒ කුමක්දැයි බලන සේක් ඇයගේ විලිත්තු දත් ඇට පෙළ දැක ස්වකීය අසථික කර්‍මස්ථානය සිතට ආවිර්භුත වූයෙන් විදසුන් වඩා එහි දීම අර්‍හත් ඵලයට පැමිණි සේක.

 

ඇයගේ දත් ඇට දැක - සිහිකෙළෙ මුල් කමටහන

එහි මැ සිට ඒ තෙරණුවො - රහත් බවට පැමිණියෝ.[97]

 

ඇයගේ හිමියා ඇය සොයා එන්නේ තෙරුන්නාන්සේ දැක “ස්වාමීනි! මෙහි ගැහැණියක් ගියා දුටුදැ”යි විචාළේය.

 

එවිට තෙරුන්නාන්සේ

 

ගැහැණි ද පිරිමි දැයි - නො දනිමි දැන් මින් ගියේ

මහමඟ ඇට ගොඩක් නම් - ගමන් කරනු දුටුයෙමි[98]

යි කී සේක.

 

“යත්‍වාධිකරණ මෙතං චක්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍වාස්ස වෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති”[99]

 

‘යම් චක්‍ෂුරින්‍ද්‍රියයක් සංවර කොට නො ගෙන වාසය කරන පුද්ගලයා කරා රාග ද්වේෂාදි ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබැඳ එත් නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියය සංවර කරගැන්ම පිණිස පිළිපදනේ ය. ඒ චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරය ට පැමිණෙන්නේ යි.’

 

සංවර අසංවර ස්ථාන විභාගය

 

ප්‍ර‍ශ්න:- චක්‍ෂුඃප්‍ර‍සාදය නිසා ස්මෘතියක් හෝ විස්මෘතියක් හෝ නූපදනා බැවින් චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයක් හෝ අසංවරයෙක් හෝ නැත්තේ නොවේ ද කුමක් හෙයින් “චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නේ ය”යි වදාළ සේක් ද පරිහාර මෙසේ ය.

 

චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයක් හෝ අසංවරයක් හෝ නැති බව සැබෑ ය. එතකුදු වුවත් රූපාරම්මණය චක්‍ෂුඃප්‍ර‍සාදයෙහි ගැටුණු විට භවාඞ්ග චිත්තය භවාඞ්ගචලන - භවාඞ්ග උපච්ඡෙද නමින් දෙවරක් ඉපදී නිරුද්‍ධ වූ කල්හි ඒ රූපය ම අරමුණු කරමින් පංචද්‍වාරාවජ්ජන චිත්තය එක වරක් උපදනේ ය. එය නිරුද්‍ධ වූ කල්හි දර්‍ශන කෘත්‍යය සිද්‍ධ කරමින් චක්ඛුවිඤ්ඤාණ චිත්තය උපදනේ ය. එය නිරුද්‍ධ වූ කල්හි සම්පටිච්ඡව කෘත්‍යය සිද්‍ධ කරමින් සන්තීරණ චිත්තය ද, එය නිරුද්‍ධ වූ කල්හි ජවන් සිත් උපදනේ ය. මේ සිත් අතුරෙන් භවංග - පංචද්‍වාරාවජ්ජන චක්ඛුවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණ - වොත්‍ථපන යන සිත්හි සංවර හෝ අසංවර හෝ නො වෙයි. ජවනක්‍ෂණයෙහි මැ දුස්සීල භාවය හෝ මුළාසිහිය හෝ අඥාන භාවය හෝ නොඉවසීම හෝ කුසිත භාවය හෝ වුණි නම් අසංවර වෙයි. මෙසේ අසංවරය ජවන් අවස්ථාවෙහි වුව ද චක්ඛුන්‍ද්‍රිය අසංවර යයි කියනු ලැබේ. කුමක් හෙයින් ද ජවන් සිත් හි අසංවරය වූ කල්හි චක්ඛුද්වාරය ද, භාවාඞ්ග ආවර්‍ජනාදි වීථි සිත් ද, අසංවර වන බැවිනි. නගරයෙහි ප්‍ර‍ධාන දොර සතර නොපියූ කල්හි ඇතුල්හි සුලු ද්වාර පියූවත් නගරය ආරක්‍ෂා සහිත නොවෙයි. ප්‍ර‍ධාන ද්වාරයන්ගෙන් සොරු ඇතුල් වැ නුවර බඩු පැහැර ගන්නා බැවිනි. එමෙන් ජවන් අසංවර වූ කල්හි චක්‍ෂුර්ද්වාරය ද, භවාඞ්ග ආවර්‍ජනාදි සිත් ද අසංවර මැ යි. ජවන සංවර වූ කල්හි චක්ඛුද්වාර භවංග ආවර්‍ජනාදිය ද සංවරය. ප්‍ර‍ධාන ද්වාර සංවර කල්හි මුළු නගරය ම ආරක්‍ෂා සහිත වන්නාක් මෙනි. මෙසෙයින් ජවනක්‍ෂණයෙන් වන සංවරය “චක්ඛුන්‍ද්‍රිය සංවර” යයි වදාළ සේකැ යි දතයුතු.

 

“සොතෙන සද්දං සුත්‍වා”.....පෙ.... ‘ශ්‍රොත්‍ර‍ විඥානයෙන් ශබ්ද අසා’ යනාදිය ද යට කියන ලද පරිදි මැ වන්නේ ය.

 

මෙසේ රූපාදිය නිමිති කොට සිත්හි කෙලෙස් ඉපැදීම වළකන්නේ ඉන්‍ද්‍රිය සංවර ශීලය යි දතයුතු.

 

ඉන්‍ද්‍රිය සංවර ශීලය නිමියේ ය.

 

0    0  0  0  0

 

3.  ආජීව පාරිසුද්‍ධි සීලය

 

“ආජීවය හේතු කොට ගෙන පණවා වදාළ සවැදෑරුම් ශික්‍ෂාපදයන් ව්‍යතික්‍ර‍මණය කිරීම් වශයෙන් ද, කුහනා-ලපනා-නෙමිත්තකතා-නිපෙපසිකතා-ලාභෙන ලාභං නිජිගිංසනතාදි පාප ධර්‍මයන් ගේ වශයෙන් ද පවත්නා වූ මිච්ඡාජීවයෙන් වැළකීම ආජීව පාරිසුද්‍ධි සීලය යි” යනු යට දක්වන ලදී.

 

මෙහි ආජීවය හේතු කොට ගෙන පණවා වදාළ සවැදෑරුම් ශික්‍ෂාපද මෙසේ ය.

 

(1) පාරාජිකාව පාපෙච්ඡ වූ යම් උපසම්පන්න භික්‍ෂුවෙක් ආජීව හේතුයෙන් තමා සතන්හි අවිද්‍යමාන වූ ධ්‍යාන - මාර්‍ග - ඵලාදි උත්තරි මනුෂ්‍ය තමා කෙරෙහි ඇතැයි කියා නම් ඒ භික්‍ෂු පාරාජිකාපත්තියට පැමිණෙයි.

 

(2) සංඝාදිසේසය : යම් උපසම්පන්න භික්‍ෂුවෙක් ආජීව හේතුයෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුන් පිළිබඳ එකෙනෙහි වන සංගමය පිණිස හෝ ඔවුනොවුන්ගේ පණිවිජ කියා නම් ඒ භික්‍ෂු සඞ්ඝාදිසෙසාපත්තියට පැමිණෙයි.

 

(3) ථූල්ලච්චය : යම් උපසම්පන්න භික්‍ෂුවෙක් ආජීවය හේතුකොට ගෙන දායකයා හට “නුඹගේ විහාරයෙහි වසන භික්‍ෂු රහතන් වහන්සේ නමෙකැ” යි තමා උදෙසා අනියමයෙන් කියා නම් ඒ භික්‍ෂු ථුල්ලච්චයාපත්තියට පැමිණෙයි.

 

(4) පාචිත්තිය : යම් උපසම්පන්න භික්‍ෂුවෙක් නොගිලන් වූයේ ම ආජීවය හේතු කොට ගෙන කිරි ආදි ප්‍ර‍ණීත භෝජන තමා පිණිස ගෙන්වා ගෙන වළඳා නම් ඒ භික්‍ෂු පාචිත්තියා පත්තියට පැමිණෙයි.

 

(5) පාටිදේසනීය : යම් උපසම්පන්න භික්‍ෂුණියක් නොගිලන් වූවා මැ ප්‍ර‍ණීත භෝජන තමා පිණිස ගෙන්වා ගෙන වළඳා නම් ඒ භික්‍ෂුණී පාටිදෙසනීයාපත්තියට පැමිණෙයි.

 

(6) දුක්කටය : යම් උපසම්පන්න භික්‍ෂුණියක් නොගිලන් වූවා ම සූප හෝ ඕදන හෝ තමා පිණිස ගෙන්වා ගෙන වළඳා නම් ඒ භික්‍ෂුණී දුකුළා ඇවැතට පැමිණෙයි.

 

මේය ආජීවය හේතු කොට පණවා වදාළ ශික්‍ෂාපද සය නම්:

 

මේ ෂඩ්විධ ශික්ෂාපද ව්‍යාතික්‍ර‍මණය කරන්නහුගේ ආජීවය අපිරිසිදු වේ. එපමණක් ද නොවෙයි. කුහනාදි වශයෙන් ජීවත් වන්නාහුගේ ද ආජීවය අපිරිසිදු වෙයි. ඒ කුහනාදිහු මතු දක්වනු ලැබෙත්.

 

කුහනා.

 

“තත්‍ව කතමා කුහනා? ලාභසක්කාර සිලොක සන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පච්චය පටිසෙධන සංඛාතෙන වා සාමන්නජප්පිතෙන වා ඉරියාපථස්ස වා අට්ඨපනා ඨපනා සණ්ඨපනා භාකුටිතා භාවකුටියං කුහනා කුහායනා කුහිතත්තං අයං වුච්චති කුහනා”[100] යනු මේ වදාළ නිර්‍දෙශ පාළියි. එහි කුහනා නම් කිම?

 

‘ලාභ සත්කාර කීර්‍තති පතන්නා වූ, පාපේච්ඡ වූ හෙවත් නැති ගුණ දක්වනු කැමැති වූ, ලෝභයෙන් මඩනා ලද්දා වූ, භික්‍ෂුවගේ පච්චයපටිසෙධන වශයෙන් හෝ සාමන්තජප්පන වශයෙන් හෝ ඉරියාපථසන්නිස්සිත වශයෙන් හෝ යම් මුහුණ හකුළුවන බවෙක් කුහක බවෙක් වෙයි ද එය කුහනා යයි කියනු ලැබේ. යනු එහි සංක්‍ෂිප්ත භාවයි.

 

මෙයින් මහා නිර්‍දෙශයෙහි[101] දක්වන ලද 1. පච්චයපටිසෙධන, 2. සාමන්තජප්පන, 3. ඉරියාපථසන්නිස්සති යන ත්‍රිවිධ කුහක වස්තු ප්‍ර‍කාශිත බව දත යුතුයි.

 

1. පච්චය පටිසෙධන කුහනාව.

 

දායකයෙක් භික්‍ෂුවක් හට චීවරාදි ප්‍ර‍ත්‍යයන් අතුරෙන් යමක් පිළිගන්වයි. ඒ භික්‍ෂුව එයින් ප්‍රයෝජන ඇත්තේ මැ ගනු කැමැත්තේ මැ “මට වුවමනා නැතැ” යි ප්‍ර‍තික්‍ෂේප කරයි. එවිට දායකයා වඩා සතුටු වැ “අහෝ අපේ ස්වාමීන් වහන්සේ අල්පේච්ඡය. කිසිවක් පිළිගන්නට නො කැමැති සේක. අපට වූයේ මහා ලාභයෙක. කෙසේ නමුත් උන්වහන්සේට ප්‍ර‍ත්‍යය සිඟිත්තක් පිළිගන්වා ගත මැන වැ”යි නානාවිධ උපායයෙන් වටනා සිවුරු ආදිය පිළියෙළ කොට ගෙන අවුත් පෙරැත්ත කරයි. එවිට භික්‍ෂු ඔහුට ම අනුග්‍ර‍හ සඳහා පිලිගන්නා සැටි අඟවා ඒ සිවුරු ආදිය පිළිගනියි.

 

එතැන් පටන් කරත්ත බරට ගෙනවුත් පිළිගන්වන ආකාරයෙන් ජනයා විස්මය පත් කරන මේ කුහක භාවය පච්චය පටිසෙධන කුහක වස්තුය යි දත යුතු. වදාළේ මැ යි.

 

මහා නිර්‍දෙශයෙහි :-

 

“කතමං පච්චය පටිසෙධන සඞ්ඛ්‍යාතං කුහනවත්‍ථු? ඉධ ගහපතිකා භික්ඛුං නිමන්තෙනති චීවරපිණ්ඩපාත සෙනාසන ගිලාන පච්චය භෙසජ්ජපරික්ඛාරෙහි. පාපිච්ඡො ඉච්ඡාපකාතා අත්‍ථිකො චීවර ---පෙ----පරික්ඛාරානං භිය්‍යො කම්‍යතං උපාදාය චීවරං පච්චක්ඛාති. පිණ්ඩපාතං ---පෙ---සෙනාසනං ----පෙ---- භීලානපච්චය භෙසජ්ජ පරික්ඛාරං පච්චක්ඛාති. සො එවමාහ, කිං සමණස්ස මහග්ඝෙන චීවරෙන? එතං සාරුප්පං යං සමණො සුසානා වා සඞ්කාරකූටා වා පාපණිකා වා නත්තකානි වා උච්චිනිත්‍ථා සංඝාටිං කත්‍වා ධාරෙය්‍ය. කිං සමණස්ස මහග්ඝෙන පිණ්ඩපාතෙන එතං සාරුප්පං යං සමණො උඤ්ජාචරියාය පිණ්ඩියාලොපෙන ජීවිකං කප්පෙය්‍ය. කිං සමණස්ස මහග්ඝෙන සෙනාසනෙන එතං සාරුප්පං යං සමණො රුක්ඛමූලිකො වා අස්ස අබ්හොකාසිකො වා කිං සමණස්ස මහග්ඝෙන ගිලාන පච්චය භෙසජ්ජපරික්ඛාරෙන එතං සාරුප්පං යං සමණො පූතිමුත්තෙන වා හරීටකඛණ්ඩෙන වා ඔසධං කරෙය්‍යාති. තදූපාදය ලූඛං චීවරං ධාරෙති ලූඛං පිණ්ඩපාතං පරිභුඤ්ජති. ලුඛං චීවර ධාරති ලුඛං පිණ්ඩපාතං පරිභුඤ්ජති. ලුඛං සෙනාසනං පටිසෙවති. ලුඛං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිසෙවති. තමෙනං ගහපතිකා එවං ජානන්ති. අයං සමණො අප්පිචෙඡා සන්තුට්ඨො පවිවිතෙතා අසංසටෙඨා ආරඬවිරියෝ දුත වාදො ති භීය්‍යො භීය්‍යො නිමන්තෙන්තී චීවර -----පෙ---- පරීක්ඛාරෙහි සො එවමාහග තිණණං සම්මුඛීභාවා සද්ධා කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දෙය්‍යධම්මස්ස ----පෙ----- දක්ඛිණෙය්‍යානං සම්මුබීභාවා සද්ධො කුලපුත්තො බහු පුඤ්ඤං පසවති. තුමහාකඤෙච වායං සද්ධා අත්‍ථී. දෙය්‍යධම්මො ච සංවිජ්ජති. අහං ච පටිග්ගාහකො. සචාහං න පටිග්ගහෙස්සමා එවං තුම්හෙ පුඤ්ඤෙන පරිබාහිරා භවස්සථ. න මය්හං ඉමිනා අත්‍ථො අපි ච තුමහාකං යෙව අනුකම්පාය පතිගුණ්හාමි’ති තදුපාදායං බහුං පි චීවරං පතිගණ්හාති. බහුම්පී පිණ්ඩපාතං ----පෙ---- භෙසජ්ජපරික්ඛාරං පතිගණ්හාති. යා එපරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං ඉදං වුච්චති පච්චයපටිසෙධන සංඛාතං කුහනවත්‍ථුති.[102]

 

මෙහි සංක්‍ෂිප්ත භාවය මෙසේය.

 

“පච්චයපටිසෙධන සංඛ්‍යාත කුහන වස්තුව කවරේ ද යත්? මේ සසුන්හි ගෘහපතියෝ භික්‍ෂුවකට චීවරාදි සිව්පසයෙන් නිමන්ත්‍ර‍ණය කෙරෙති. පාපෙච්ඡ වූ ඉච්ඡාපකත වූ භික්‍ෂු ඒ සිව්පසයෙන් ප්‍රයෝජන ඇත්තේ නමුදු වැඩියක් ගනු කැමැත්තේ ප්‍ර‍තික්‍ෂේප කෙරෙමින් මෙසේ කියයි. “මහණුන්ට මහාර්‍ඝ සිවුරු කුමකට ද ඔවුන්ට වටනේ සොහොනින් හෝ කසල ගොඩෙන් හෝ රෙදි කැබලි අවුලා මසාගෙන පොරවන්නට ය. මහණුන්ට ප්‍ර‍ණීත පිණ්ඩපාත කුමට ද ඔවුන්ට වටානේ සිඟාගෙන වළඳන්ට ය. මහණුන්ට මඇඟි සෙනසුන් කුමට ද ඔවුන්ට වටනේ රුක්ඛමූලික වැ හෝ අබ්භොකායික වැ හෝ වසන්ට ය. මහණුන්ට අනර්‍ඝ ගිලන්පස බෙහෙත් පිරිකර කුමටද ඔවුන්ට වටනේ පූතිමුත්‍රයෙන් හෝ අරළුයෙන් හෝ බෙහෙත් කරන්නට ය.” මෙසේ කියමින් එය මැ පෙන්වනු සඳහා රූක්‍ෂ වූ චීවර පිණ්ඩපාත සෙනාසන ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කරයි. ඒ දක්නා ගැහැවියෝ “මුන්වහන්සේ අල්පේච්ඡය සන්තුට්ඨය පවිචිත්තය අසංසට්ඨය ආරද්ධවිරිය ය ධුතවාදියා” යි වඩ වඩා ලා සතුටු වැ සිව්පසෙන් පෙරැත්ත කෙරෙති. එවිට ඒ භික්‍ෂු “ශ්‍ර‍ද්ධා, දේයධර්‍ම, ප්‍ර‍තිග්‍රාහක යන තුන් වස්තුන්ගේ සම්මුඛ වීමෙන් සැදැහැවත් කුලපුත්‍රයෝ පින් රැස්කර ගනිති. තොපට ශ්‍ර‍ද්‍ධාව හා දෙයදර්‍ම (දානවස්තුව) ඇත්තේ ය. මම වූ කලී ප්‍ර‍තිග්‍රාහකයෙමි. ඉදින් මම නොපිළිගන්නෙම් නම් තොපි පිනින් බැහැර වන්නහු ය. මට මේ පසයෙන් ප්‍රයෝජන නැතත් තොපට අනුකම්පා සඳහා පිළිගනිමි” යි මෙසේ බණ දෙසමින් බොහෝ බොහෝ සිවුරු ආදිය පිළිගනියි. මෙබඳු භාකුටිතායෙක් කුහක භාවයෙක් වේ නම් එය පච්චය පටිසෙධන සංඛ්‍යාත කුහක කම වන්නේය. පච්චය පටිසෙධන නම්, ප්‍ර‍ත්‍යය ප්‍ර‍තික්‍ෂේප කිරීමයි.

 

2.  සාමන්ත ජප්පන කුහනාව

 

පාපෙච්ඡ වූ භික්‍ෂුවෙක් තමන් කෙරෙහි නැති උතුරු මිනිස් දම් ගුණ ඇති සේ කොට දක්වන කථායෙන් ජනයා විස්මය පත් කෙරේ නම් එය සාමන්ත ජප්පන කුහන වස්තුය යි දතයුතු. (උතුරු මිනිස් දම් ගුණ නම්, ධ්‍යාන-මාර්‍ග-ඵලය).

 

වදාළේ මැ යි :-

 

“කතමං සාමන්නජප්පනසංඛ්‍යාතං කුහනවත්‍ථු? ඉධෙකච්චො පාපිච්ඡො ඉච්ඡාපකතො සම්භාවනධිප්පා යො එවං මං ජනො සම්භාවෙස්සතී’ති අරියධම්ම සන්නිස්සිතං වාචං භාසති. යො එවරූපං චීවරං ධාරෙති සො සමණො මහෙසක්ඛො’ති භණති. යො එවරූපං පත්තං ලොහථාලකං ධම්මකරකං පරිස්සාවනං කුඤ්චිකං කායබන්‍ධනං උපාහනං ධාරෙති සො සමණො මහෙසාක්ඛො’ති භණති. යස්ස එවරූපො උපජ්ඣායො ආචරියො සමානුපජ්ඣායකො සමානාචරියකො මිත්තො සන්‍දිට්ඨො සමම්භත්තො සහායො. යො එවරූපෙ විහාරෙ වසති. අඩ්ඨයොගො පාසාදෙ හම්මියෙ ගුහාය ලෙණෙ කුටියා කූටාගාරෙ අට්ටෙ මාලෙ උද්දණ්ඩෙ උපට්ඨාන සාලායං මණ්ඩපෙ රුක්ඛමුලෙ වසති. සො සමණො මහෙසක්ඛොති භණති. අථවා කොරඤ්ජික කොඤ්ජි කො භාකුටික භාකුටිකො කුහකුහො ලපලපො මුඛසම්භාවිතො අයං සමණො ඉමාසං එවරූපානං සන්තානං විහාරසමාපත්තිනං ලාභිනි තාදිසං ගම්භීරං ගුළ්හං නිපුණං පටිච්ඡන්තං ලොකුත්තරං සුඤ්ඤතා පටිසංයුත්තං කථං කථෙති. යා එවරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිත්තං ඉදං වුච්චති සාමන්තජප්පන සංඛාතං කුහනවත්‍ථුති[103]

 

මෙහි සංක්‍ෂිප්ත භාවය මෙසේ ය.

 

‘සාමන්තජප්පන කුහන වස්තුව කවරේ ද යත්? මේ සසුන්වන් ඉච්ඡායෙන් මඩනා ලද බුහුමන් ලබනු කැමති පාපෙච්ඡ වූ භික්‍ෂුවෙක් “මෙසේ කථාකල කල්හි මට මහජනයා බුහුමන් කරති”යි සලකා ආර්‍ය්‍යධර්‍ම නිශ්‍රිත කොට කථා කරයි. මෙසේ කථා කෙරේ ද යත්? “යමෙක් මේ නියා සිවුරු ධරා නම්, මේ නියා පාත්‍ර‍ ලොහොතලු ඩබරා පෙරහන් යතුරුමුදු කාබහන් වහන් ධරා නම් ඒ මහණ මහේශාක්‍ය ය. යමෙකුට මෙබඳු උපාධ්‍යාය-ආචාර්‍ය්‍ය-සමානොපාද්ධ්‍යාය-සමානාචර්‍ය්‍යවරයෝ ඇත් නම්, යමෙකු මෙබඳු සන්‍දෘෂට-සම්හක්ත මිත්‍රයෝ ඇත් නම් ඒ මහණ මහේශාක්‍ය ය. යමෙක් මෙබඳු විහාරයෙක අඩ්ඪයොග-ප්‍රාසාද-හම්මිය-ගුහා-ලෙණ-කුටි-කූටාගාර-අට්ට-මාල-උද්දණ්ඩ-උපට්ඨානසාලා-මණ්ඩප-රුක්ඛමූලයෙක වෙසේනම් ඒ මහණ මහේශාක්‍යය”යි කියයි. තව ද හැකිළැ හැකිළැ මුහුණ හකුළ හකුළා කුහක කුහක වැ ප්‍ර‍ලාප දොඩ දොඩා කටින් මැ අනුන් විසින් සම්භාවනා කරන ලද්දේ මේ මහණ මෙබඳු ශාන්ත විහාර සමාපත්තීන් ලැබ සිටින්නේය යි හැඟෙන සේ ඊට සරිලන ගැඹුරු-ගුඪ-සායුම්-ප්‍ර‍තිච්ඡන්න-ශුන්‍යතාවයෙන් යුක්ත-ලොකොත්තර කථා කෙරෙයි. මෙබඳු කුහක බවෙක් වෙයි නම් එය සාමන්න ඡප්පන සඞ්ඛ්‍යාත කුහක වස්තුය යි කියනු ලැබේ.

3.  ඉරියාපථසන්නිස්සිත කුහනාව

 

“පාපෙච්ඡ වූ භික්‍ෂුවෙක් ලෝකයාගෙන් බුහුමන් ලබන කැමැත්තෙන් යාම් ඉදීම් ආදි ඉරියව්වෙන් මහා ජනයා විස්මය පත් කෙරේ නම් එය ඉරියාපථසන්නිස්සිත කුහනා වස්තුව යයි දතයුතු. වදාළේ මැයි.

 

“කතමං ඉරියාපථසංඛ්‍යාතං කුහන වත්‍ථු? ඉධෙ කච්චො පාපිචෙඡා ඉච්ඡාපකතො සම්භාවනාධිප්පායො එවං මං ජනො සමභාවෙස්සතීති ගමනං සණ්ඨපෙති. සයනං සණ්ඨපෙති. පණිධාය ගච්ඡති. පණිධාන තිට්ඨති. පණිධාය නිසීදති. පණ්ධාය සෙය්‍යං කප්පෙති. සමාහිතො විය ගච්ඡති. සමාහිතො විය තිට්ඨති. නිසිදති. සෙය්‍යං කප්පෙති. ආපාථකජ්ක්‍ඩායී ච හොති. යා එවරූපස්ස ඉරියාපථස්ස අට්ඨපනා ඨපනා සණ්ඨපනා භාකුටිතා භාකුටිං කුහනා කුහායනා කුහිත්තතං ඉදං වුච්චති ඉරියාපථ සංඛාතං කුහනවත්‍ථු[104] ති.

 

මෙහි සංක්‍ෂිප්ත භාවය මෙසේ ය.

 

ඉරියාපථසංඛ්‍යාත කුහන වස්තුව කවරේ ද යත්? මේ සසුන්වන් - ඉච්ඡායෙන් මඩනා ලද - බුහුමන් ලබනු කැමැති පාපේච්ඡ භික්‍ෂු “මෙසේ කළ කල්හි මහා ජනයා මට බුහුමන් කරත්” යයි සලකා ගමන් කරයි. සයනය කරයි. තමා උතුරු මිනිස් දම් ඇතියෙකැයි දුටුවන්ට වැටහෙන සේ යයි. සිටියි. ඉඳියි. හොවියි. පැණෙන තැන සමාපත්තියට සමවන්නහු මෙන් හිඳියි. මෙසේ ඉරියව් පැවැත්වීම් වසයෙන් දක්වන කුහක බවෙක් වෙයි ද එය ඉරියාපථ සඞ්ඛ්‍යාත කුහක බව යයි කියනු ලැබේ.

 

කුහන යන පදයෙහි විස්තරයයි.

 

ලපනා

 

“තත්‍ථා කතමා ලපනා? ලාභසක්කාර සිලොක සන්නිස්සි තස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පරෙසං ආලපනා ලපනා සල්ලපනා උල්ලපනා සමුල්ලපනා උන්නහනා සමුන්නහනා උක්කාචනා සමුක්කාචනා අනුප්පියභාණිතා චාටුකම්‍යතා මුග්ගසුප්‍යතා පාරිභට්ටතා අයං වුච්චති ලපනා[105]

 

එහි ලපනා නම් කිම?

 

‘ලාභ සත්කාර කීර්‍තති පතන්නා වු - පාපෙච්ඡ වූ - ලොභවෙන් මැඩීගත් භික්‍ෂුවකගේ පරා (අනුන්) පිළිබඳ යම් ආලපනාවක් ලපනාවක්, සල්ලපනාවක්, උල්ලපනාවක්, සමුල්ලපනාවක්, උන්නහනාවක් සමුන්නහනාවක් උක්කාචනාවක්, සමුක්කාචනාවක්, අනුප්පියභාණිතාවක්, චාටුකම්‍යතාවක්, මුග්ගසුපත්‍යතාවක්, පාරිභට්ටතාවක්, වේද එය ලපනා යයි කියනු ලැබේ’ යනු භාවයි.

 

මෙහි ආලපනා ආදිය පිළිබඳ විවරණය මෙසේ දතයුතු.

 

1.  ආලපනාව= විහාරස්ථානයට පැමිණි මිනිසුන් දැකැ පින්වතුනි! මේ කුමට අවු ද. කිම! ආරාධනාවක් කරන්නටද හොඳා! එසේ නම් යන්න. මම පසු වැ එන්නම්”යි මේසේ පළමු කොට මැ කථාවට පටන් ගැන්ම ආලපනාය, නොහොත් තමන් උසස් තැන තබා “මම තමා....... කියන්නේ. රජ්ජුරුවෝ මා ගැන බොහෝ ප්‍ර‍සන්නය. අසවල් අසවල් රාජ මහා මන්ත්‍රිවරු මා කෙරෙහි ප්‍ර‍සන්නය” යි මෙසේ තමා උසස් තැන තබා කථා කිරීම හෝ ආලපනාය.

 

2.  ලපනාව= විතාළ කෙනෙකුන්ට එසේ කීම ලපනාය.

 

3.  සල්ලපනාව= දායකයන් කළකිරීමෙහි භිතියෙන් ඔවුන්ට ද අවකාශ තබා කථා කිරීම සල්ලපනාය.

 

4.  උල්ලපනාව= “මේ තමා මහා ධනවතා, මේ තමා මහා නාවිකයා, මේ තමා මහා දානපතියා” යනාදීන් දායකයා උසස් කොට තබා කථා කිරීම උල්ලපනාය.

 

5.  සමුල්ලපනාව= “සර්‍වපකාරයෙන් මැ දායකයා උසස් කොටැ කථා කිරීම සමුල්ලපනාය.

 

6.  උන්නහනාව= උපාසකවරුනි ඉස්සර නම් මේ කාලයේ අලුත් දන් දුන්නහු ය. දැන් කුමක් හෙයින් නොදෙන්නහු දැ” යි විචාරා හෙතෙමේ “ස්වාමීනි! දැනුදු දෙන්නෙමි අවකාශ නැතියෙන් ප්‍ර‍මාද වන්නෙමි” යි යම් තාක් කියයි ද, ඒ තාක් වෙළාලීම උන්නහනාය. නොහොත් උක් දණ්ඩක් අතේ ඇති වැ පැමිණි උපාසකයෙකු දැකැ “උපාසකය! මේ කොයින් ගෙනෙන ලදැ” යි විචාරා “ස්වාමීනි! කෙතින්” යයි කී කල්හි “කිමෙක උපාසකය එහි උක් මිහිරි දැ”යි විචාරා ස්වාමීනි! කාලා දැන ගත යුතුයි”යි කී කල්හි “උපාසකය! “භික්ෂූන්ට උක් දියයුතුය’යි කියන්නට නොවටනේය”යි කියමින් මෙසේ නිරවුල් වැ කථා කරන දායකයා අවුලේ ලා කථා කිරීම හෝ උන්නහනාය.

 

7.  සමුන්නහනාව= සර්‍වප්‍ර‍කාරයෙන් අවුලේ ලා කථා කිරීම සමුන්නහනාය.

 

8.  උක්කාචනාව= “මෙ ගෙයි වැසියෝ ඉදින් මා හඳුනත් නම් මෙහි සියලු දෙය ධර්‍මය මට ම දෙති”යි උද්දීපනය උක්කාචනාවය.

 

තෙලන්‍දරික කථා වස්තුව මෙහි ලා නිදර්‍ශනයි.

 

9.  සමුක්කාචනාව= සර්‍වප්‍ර‍කාරයෙන් මෙසේ උද්දීපනය සමුක්කාචනාවය.

 

10.     අනුප්පියභාණිතාව සත්‍යානුකුලත්‍වය හෝ ධර්‍මානුකුලත්‍වය නොබලා නැවත නැවත ප්‍රිය කථා කිරීම අනුප්පියභාණිතාවය.

 

11.     චාටුකම්‍යතා= නීචවෘත්තියත්‍වයයි. හෙවත් තමා දායකයාට වඩා පහත් වැ පැවැත්ම යි.

 

12.     මුග්ගසුප්‍යතාව= මුං ඇට තැම්බූ කල්හි කොටසක් පැසී කොටසක් නොපැසී තිබෙන්නා සේ යමෙක් කථා කරන කල්හි කොටසක් සත්‍ය වැ කොටසක් අසත්‍ය වැ තිබේ නම් ඒ පුද්ගලයා මුග්ගසුප්පය යි කියනු ලැබේ. ඔහුගේ ස්වභාවය මුග්ගසුප්‍යතාය.

 

13.     පාරිහට්ටතාව= කිරි මවුන් මෙන් කුලදරුවන් ඇකයෙන් කරින් වඩා ගැන්ම පාරිහට්ටතාය.

 

ලපනා යන පදයෙහි විස්තරය යි.

 

නෙමිත්තිකතා

 

“තත්‍ථ කතමා නෙමිත්තිකතා? ලාභ සක්කාර සිලොක සන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යං පරෙසං නිමිත්තං නිමිත්තකම්මං, ඔහාසො ඔහාසකම්මං සාමන්නජප්පා පරිකථා අයං වුච්චති නෙමිත්තිකතා[106]

 

එහි නෙමිත්තකතා නම් කිම?

 

ලාභ සත්කාර කිර්‍තතිකාමී වූ - පාපෙච්ඡ වූ - ඉච්ඡාපකත වූ - භික්‍ෂුව ගේ පරා පිළිබඳ යම් නිමිත්තයෙක් නිමිත්තකර්‍මයෙක් ඔහාසයෙක් ඔහාසකම්මයෙක් සාමන්තජප්පාවෙක් පරිකථාවෙක් වෙයි ද එය නෙමිත්තිකාතාය යි කියනු ලැබේ.

 

නිමිත්තාදීන්ගේ විවරණය මෙසේ ය.

 

1.  නිමිත්ත නම්, ප්‍ර‍ත්‍යය දීම සඳහා මෙරමා හට සිත් උපදවන කාය කර්‍ම හා වාක් කර්‍මය.

 

2.  නිමිත්තකර්‍ම නම්, කෑමක් ගෙන යන්නවුන් දැක “කිම කෑමක් ලැබුවහු ද යනාදි නියායෙන් නිමිති කිරීමය.

 

3.  ඔභාස නම්, ප්‍ර‍ත්‍යය පිළිබඳ කථා කිරීමය.

 

4.  ඔභාසකම්ම නම්, වසුපල්ලන් දැකැ ‘කිම මොහු කිරි වස්සෝ ද වෙඬරු වස්සෝ දැ”යි විචාරා “ස්වාමීනි කිරි වස්සෝය”යි කී කල්හි “මොවුන් කිරිවස්සනු වුව නොහැක ඉදින් කිරිවස්සෝ නම් භික්‍ෂූහු ද කිරි ලබන්නාහු”යි මේ ආදි නියායෙන් කියා කුඩා දරුවන් ලවා ඔවුන්ගේ මවුපියන්ට දන්වා කිරි දොවවා ගැනීම් ආදිය යි.

 

5.  සාමන්තජප්පා නම්, කුලුපග භික්‍ෂු මෙන් ආසන්න කොටැ කථා කිරීමය.

 

කුලුපග භික්‍ෂු

 

එක් කුලුපග භික්‍ෂුවෙක් වළඳන රිස්සෙන් මැ ගෙයකට වැදැ අස්නෙක හුන්නේ ය. ගෙයි ඇත්තී උන්වහන්සේ දැක කිසිවක් නොදෙන අටියෙන් “අද ගෙදොර සහල් නැතැ”යි කියා ගෙන සහල් ගෙනෙන්නට යන ලීලාව සඟවා අසල් ගෘහයකට ගියා ය. ඒ අතර භික්‍ෂු ඇතුල් ගැබට වැදැ වට පිට බලන්නේ දොරමුල්ලේ උක්ගස ද, භාජනයක සකුරු ද, පැසෙක ලුණු මාලු ද, සැළියෙක සහල් ද කළයක ගිතෙල් ද තිබෙනු දැක නික්මැ අවුත් කිසිවක් නොදන්නා කෙනෙකුන් මෙන් උන් තැනැ මැ උන්නේ ය. ගෙයි ඇත්තී “සහල් ලබා ගත නොහැකි වීය”යා කියා ගෙන ගෙට ආවා ය. භික්‍ෂු කියන්නේ “උපාසිකාවෙනි! අද දන් නො ලැබෙන බව මම එද්දී ලත් පූර්‍ව නිමිත්තයෙන් මැ දැන ගතිමි”යි කීවේ ය. “ස්වාමීනි! කවර පූර්‍ව නිමිත්තයෙක්දැ යි”යි අසන ලද්දේ “උපාසිකාවනි! ගෙයි මුල්ලේ උක්ගස බඳු සර්‍පයකු දුටුයෙමි. “ඌ ගසා එළවමි”යි අවට බලන්නේ භාජනයෙහි සකුරු කැට බදු ගල් කැට ද, පහර කෑ සර්‍පයා විසින් පැසෙහි ලුණු මාලු පලුව මෙන් දැක්වූ පෙණය ද, කැට ගල් ඩහන්නට පැනගත් සර්‍පයාගේ සැළියෙහි සහල් බඳු දත් ද, කුපිත වූ සර්‍පයාගේ මුඛයෙන් ගිලිහුණු කළයෙහි ගිතෙල් බඳු විෂ මිශ්‍ර‍ කෙළ ද දුටුවෙමි”යි යළිත් කීවේ ය. ඕ “මේ මුඩු ශ්‍ර‍මණයා වංචා කළ නොහැකි”යි උක්ගස කපා පිළිගන්වා නැවත බත් පිසැ ගිතෙල් සකුරු හා මස් සමග පිලිගැන්වූවා ය.

 

මෙසේ ආසන්න කොටැ බිණීම සාමන්තජප්පාය යි දතයුතු.

 

6.  පරිකථා නම් යම් සේ කථා කළ විට ලැබේ නම් එසේ පෙරළ පෙරළා කථා කිරීම ය.

 

නෙමිත්තකතා යන පදයෙහි විස්තරය යි.

 

නිප්පෙසිකතා.

 

“තත්‍ථ කතමා නිප්පෙසිකතා? ලාභසක්කාර සිලොක සන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පරෙසං අක්කොසනා වම්හනා ගරහණා උක්ඛෙපණා සාමුක්ඛෙපණා ඛිපනා සංඛිපනා පාපනා සම්පාපනා අවණ්ණාහාරිතා පරපිට්ඨිමංසිකතා අයං වුච්චති නිප්පෙසිකතා”[107]

 

‘එහි නිප්පෙසිකතා නම් කිම? ලාභ සත්කාර කීර්‍තතිකාමි වූ පාපෙච්ඡ වූ, ඉච්ඡාපකත වූ භික්‍ෂුවගේ පරහට යම් අක්කොසනාවෙක් ගරහණාවෙක් උක්ඛෙපනාවෙක් සමුක්ඛෙපනාවෙක් ඛිපනාවෙක් සංඛිපනාවෙක් පාපනාවෙක් සම්පාපනාවෙක් අවණණහාරිතාවෙක් පරසිට්ඨිමංසිකතාවෙක් වන්නේ ද එය නිප්පෙසිකතාය යි කියනු ලැබේ.

 

අක්කොසනාදීන්ගේ විවරණය මෙසේ ය.

 

1.  අක්කොසනා = දශ ආක්‍රොශ වස්තුයෙන් ආක්‍රොශ කිරීමය

 

2.  වම්හනා = බැණ දෙඩීම ය.

 

3.  ගරහණා = “අස්සාද්‍ධාවන්තයා, අප්‍ර‍සන්නයා” යනාදී නයෙන් දොෂාරොපනය කිරීම ය.

 

4.  උක්ඛෙපණ = “කට වහගනු” යනාදින් වචනයෙන් ඔසවා දැමීම ය.

 

5.  සමුක්ඛෙපණා = සර්‍වප්‍ර‍කාරයෙන් හේතු සහිත වැ එසේ ඔසවා දැමීම නොහොත් නොදෙන්නෙකුට “අනේ දානපතිය!” යනාදීන් වචනයෙන් උසස් කිරීම උක්ඛෙපනාවය, මොනවට එසේ උසස් කිරීම සමුක්ඛෙපනාව ය.

 

6.  ඛිපනා = “බිජුවට කන මොහුගේ ජීවිතය කිමදැ”යි කවට කම් කිරීම ය.

 

7.  සංඛිපනා = මොහුට නොදෙන්නා යයි කුමට කියත් ද ඇම කල්හි මෙතෙමේ නැත යනු දෙන්නේ ය”යි කියා වඩාලාත් කවටකම් කිරීම ය.

 

8.  පාපනා = නොදෙන බව නොහොත් නුගුණ සැම තැන පැමිණවීම ය.

 

9.  සම්පාපනා = සර්‍වප්‍ර‍කාරයෙන් එසේ පැමිණවීම ය.

 

10.     අවණ්ණහාරිතා = “දොස් කීමට බියෙන් වත් දෙන්නේ ය” යි සිතා ගෙන් ගෙට ගමින් ගමට දනව්වෙන් දනව්වට නුගුණ ගෙන යාම ය.

 

11.     පරපිට්ඨිමංසිකතා = සම්මුඛයෙහි මිහිරි සේ ගුණ කියා අසම්මුඛයෙහි නුගුණ කීමයි. මේ වනාහි ඉදිරිපිටදී බැලීම් මාත්‍ර‍යකුදු නොකොටැ පිටු පෑවිට පිටු මස් කෑම වැනි එකෙක. එබැවින් පරපිට්ඨිමංසිකතාය යි කියනු ලැබේ.

 

මේ යට දැක්වුණු අක්කෝසනාදි කථා වනාහි හුණ පතුරෙන් ඇඟ සූරා පිස දමන්නා සේ මෙරමාගේ ගුණ සූරා පිස දමන්නේ ය. නැතහොත් සුවඳ ද්‍ර‍ව්‍ය සුණු කොටැ සුවඳ ආඝ්‍රාණය කරන්නා සේ මෙරමා ගුණ සුණු කොටැ ලාභ සොයා ගන්නේ යි එබැවින් නිප්පෙසිකතා යයි කියනු ලැබේ.

 

නිප්පෙසිකතා යන පදයෙහි විස්තරය යි.

 

ලාභෙන ලාබං නිජිගිංසනතා.

 

“තත්‍ථ කතමා ලාභෙන ලාභං නිජිගිංසනතා? ලාභ සක්කාර සිලොකසන්නිස්සිතො පාපිච්ඡො ඉච්ඡාපකතො ඉතො ලද්ධං ආමිසං අමුත්‍ර‍ හරති අමුත්‍ර‍ වා ලද්‍ධං ආමිසං ඉධාහරති. යා එවරූපා ආමිසෙන ආමිසස්ස එට්ඨි ගවෙසි පරියෙට්ඨි එසනා ගවෙසනා පරියෙසනා අයං වුච්චති ලාභෙන ලාභං නිජිගිංසනතා”ති.[108]

 

එහි ලාභයෙන් ලාභය සෙවීම නම් කිම?

 

ලාභ සත්කාර කීර්‍තතිකාමි = පාපෙච්ඡ - ඉච්ඡාපකත - භික්‍ෂු මේ ගෙයින් ලත් ආමිෂය අනෙක් ගෙයකට ගෙනයයි. ඒ ගෙයින් ලත් ආමිෂය මේ ගෙට ගෙන යයි. මෙ බඳු වූ ආමිෂ පිළිබඳ යම් කැමැත්තෙක් සෙවීමෙක් නැවැත නැවැත සෙවිමෙක් වේ ද, එය ලාභයෙන් ලාභය සෙවීම යයි කියනු ලැබේ. යනු භාවයි. මුල පටන් ලත් භික්‍ෂාව ඒ ඒ ගෙවල දරුවන්ට දීලා අන්තයෙහි කිරිකැඳක් ලබා ගෙන ගිය භික්‍ෂුවගේ කථාව මෙහි දැක්විය යුතුවේ.

 

ආදි ශබ්දයෙන් “යථා වා පනෙකෙ භොන්තෙ සමණ බ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්‍ටා තෙ එව රූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්‍යථීදං? අඞ්ගං නිමිත්තං උප්පාතං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්තං අග්ගිහොමං දබ්බිහොමං”[109] යනාදි වශයෙන් බ්‍ර‍හ්මජාල සූත්‍රයෙහි වදාළ අනේකවිධ පාප ධර්‍ම ගත යුතුය. “මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් සැදැහැවතුන් දුන් බොජුන් වළඳා මෙබඳු වූ තිරශ්චින විද්‍යායෙන් මිච්ඡාජීවයෙන් ජීවත් වෙත්. කෙබඳු තිරශ්චීන විද්‍යාවෙන් ද යත්? අඞ්ගශාස්ත්‍ර‍ය, නිමිත්ත ශාස්ත්‍ර‍ය, අග්නි ආදි උත්පාත ශාස්ත්‍ර‍ය, ස්වප්න ශාස්ත්‍ර‍ය, ලක්‍ෂණ ශාස්ත්‍ර‍ය, මීයන් වස්ත්‍රාදිය කෑ කල වන පල කීමය. මෙනම් ගින්නෙන් හෝම කළ කල මෙනම් සැන්දෙන් හෝම කළ කල මෙබඳු ඉෂ්ට විපාක වන්නේය යි දැක්වීම”ය යනු පාළියේ භාවය යි.

 

මෙසේ ආජීවය හේතු කොට ගෙන පණවා වදාළ සවැදෑරුම් ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය කිරීම වශයෙන් ද, කුහනා කපනා නෙමිත්තකතා නිප්පෙසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතාදි පාප ධර්‍මයන්ගේ වශයෙන් ද, දිවි පැවැත්වීම මිච්ඡාජීවය යි. ඒ සර්‍වාකාර මිථ්‍යා ජීවයෙන් වෙන්වීම ආජීව පාරිසුද්ධි සීලයයි. “එතං ආගම්ම ජීවතී ති ආජීවො - කො සො? පච්චය පරියෙසන වායාමො. පාරිසුද්‍ධි’ති පරිසුද්ධතා ආජීවස්ස පාරිසුද්ධි ආජීවපාරිසුද්ධි” යනු මෙහි වචනාර්ථයි.

 

ආජීව පාරිසුද්ධි සීලය නිමියේ ය.

 

4.  ප්‍ර‍ත්‍යය සන්නිඃශ්‍රිත සීලය

 

“පටිසංඛා යොනිසො චීවරං පටිසෙවාමි යාවදෙව සීතස්ස පටිඝාතාය” යනාදීන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොටැ සිව්පස පරිභෝග කිරීම පච්චය සන්නිස්සිත සීලය යි යට දක්වන ලදි. එහි විස්තරය මෙසේ ය.

 

“පටිසංඛා යොනිසො චීවරං පටිසෙවාමි යාවදෙව සීතස්ස පටිඝාතාය උණහස්ස පටිඝාතාය ඩංසමකස්වාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය යාවදෙව හිරිකොපීන පටිච්ඡාදනත්‍ථං”[110] යි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරමින් සිවුරු හැඳිය යුතු පෙරෙවිය යුතු. “නුවණින් සළකා මම සිවුරු වළඳමි. කුමක් පිණිස යයි සලකා සිවුරු වළදිම් ද යත්? හුදෙක් සීතල නසනු පිණිස ය. උෂ්ණය නසනු පිණිසය, මැසි මදුරු අව් සුළ දීර්‍ඝජාතික සර්‍ප යන මොවුන්ගේ සපර්‍ශ නසනු පිණිස ය. වැළි අන්තිම පරිච්ඡෙදයෙන් ලජ්ජා කුප්පන ස්ථාන මුවහ කරගනු පිණිස යයි මෙසේ නුවණින් සලකා සිවුරු වළඳිමි” යනු එහි භාවයි.

 

විවරණය මෙසේ ය.

 

පටිසංඛා යොනිසො = උපායයෙන් - නුවණින් දැනගෙන ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොට යන අර්‍ථයි. මෙහි මතු කියනු ලබන “සීතස්ස පටීඝාතාය” යනාදීන් සැළකීම ම නුවණින් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කිරීම යයි දතයුතු.

 

චීවර නම් ; හඳන ආදීන් අතුරෙන් යමක්, (ආදි ශබ්දයෙන්) උත්තරාසංගසංඝාටි ආදිය ගන්නේ යි.

 

පටිසෙවාමි = වළඳිමි, හඳිමි, පොරවමි යන ද ර්‍ථ යි.

 

යාවදෙව = යනු ප්‍රයෝජන සීමාව නියම කොට දක්වන වචන යි. “සීතස්ස පටිඝාතාය” යනාදීන් මතු දක්වනු ලබන දෙයම යෝගීන්ගේ සිවුරු පරිභෝගයෙහි ප්‍රයෝජනය යි. එයින් වැඩි ප්‍රයෝජනයක් නැතැයි සේයි.

 

සීතස්ස = ශරීරයෙහි ධාතුක්‍ෂොභයෙන් හෝ බාහිරයෙහි සෘතු පෙරළීමෙන් හෝ වන යම් කිසි සීත.

 

පටිඝාතාය= නැසීම පිණිස යම් සේ ශරීරයෙහි ආබාධයෙක් නොවේ ද එසේ දුරු කිරීම පිණිස.

 

ශරීරය සීතයෙන් පීඩිත වූ කල්හි සිත වික්‍ෂිප්ත වේ. නුවණින් වීර්‍ය්‍ය කරන්නට අසමර්‍ථ වේ. එබැවින් සීත දුරු කරනු පිණිස සිවුරු පරිභෝග කටයුතුය යි බුදුන් වහන්සේ අනුදත් සේක. මතුයෙහි ද මෙසේ ය.

 

උණ්හස්ස = අග්නි සන්තාප, ඒ වනාහි වනදාහාදියෙහි ලැබෙන්නේ යයි දතයුතු. (ආතප යන්නෙහි සූර්‍ය්‍ය සන්තාප ගත් හෙයින් මෙහි අග්නි සන්තාප ගතයුතු.)

 

ඩංස මකස වාතා’තප සිරිංසප සම්ඵස්සානං

 

ඩංස - ඩහන මැසි. කණමැස්සෝ යයි ද කියත්; මකස - මදුරු වාත - ධූලි සහිත හෝ රහිත සුළං; ආතප - සූර්‍ය්‍ය සන්තාප; සිරිංසප - ඇදෙමින් යන දීර්‍ඝ ජාතික සර්‍පාදි, ඔවුන්ගේ ස්පර්‍ශය දෂ්ට ස්පර්‍ශය, ස්පෘෂ්ට ස්පර්‍ශයයි විවිධ වේ. ඒ විවිධ ස්පර්‍ශය ම සිවුරු පොරවාගෙන උන්නහු නොපෙළයි. එබැවින් එබඳු තන්හි ඒ ස්පර්‍ශ වළකනු සඳහා වළඳයි.

 

යාවදෙව = යි නැවැත යෙදීම නියත ප්‍රයෝජන සීමාව නියම කොටැ දක්වනු සඳහා ය. හිරිකොපීන පටිච්ඡාදනය නියත ප්‍රයෝජනය යි. සීතාදිය වැළකීම සමහර විටෙක ම වන්නේ ය. හිරිකොපීන නම් ඒ ඒ සම්බාධස්ථාන. යම් යම් ශරීරාඞ්ගයක් විවෘත කොටැ සිටුත් ම විළි කිපේ ද, ඒ ඒ ශරීරාඞ්ග හිරිකොපීන යයි කියනු ලැබේ. හිරිකොපීන මුවහ කරනු පිණිස යනු අර්‍ථයි. “හිරිකොපීනං පටිච්ඡා “දනත්‍ථං” යීත් පාඨයෙක් ඇත්තේ ය.

 

චීවර ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධිය යි.

 

 

“පටිසංඛා යොනිසො පිණ්ඩපාතං පටිසෙවාමි නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍ර‍හ්ම චරීයානුග්ගහාය ඉඉති පුරාණං ච වෙදනං පටිහංඛාමි. නවං ච වෙදනං න උප්පාදෙස්සාමි යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො ච”[111] යි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරමින් පිණ්ඩපාතය වැළඳිය යුතු. “නුවණින් සලකා මම පිණ්ඩපාතය වළඳමි, කුමක් පිණිස යයි සලකා ද යත්? කෙළි පිණිස නොවේ ය. මද පිණිස නොවේ ය. සැරසුම් පිණිස නොවේ ය, අලඞ්කාර පිණිස නොවේ ය. එසේ නම් කුමක් පිණිස ද යත්? හුදෙක් මේ ශරීරයාගේ සථිතිය පිණිසය. පැවැත්ම පිණිසය, බඩසා වැළැක්ම පිණිසය, බඹසරට අනුග්‍ර‍හ පිණිසය. මෙසේ මේ පිණ්ඩපාත පටිසේවනයෙන් පැරණි බඩගිනි වේදනාත් නසමි. අධික වැ වැළඳීමෙන් වන අභිනව වේදනාත් නූපදවමි. එසේ මැ මෙයින් මගේ ජීවිත යාත්‍රාව ද, නිරවද්‍ය භාවය ද, පහසු විහරණය ද, වන්නේ ය” යනු එහි භාවයි.

 

විවරණය මෙසේය.

 

පටිසංඛා යොනිසො = යනු යට විස්තර කරන ලදී.

 

පිණ්ඩපාතං = යම් කිසි ආහාරයක්; භික්‍ෂූන්ගේ පාත්‍රයෙහි භික්‍ෂාචර්‍ය්‍යායෙන් - පතිත හෙයින් යම්කිසි ආහාරයෙක් පිණ්ඩපාත යයි කියනු ලැබේ. නොහොත් පිණ්ඩයන්ගේ - ඒ ඒ තන්හි දී ලත් භික්‍ෂාවන්ගේ පාත්‍ර‍ය - සමූහය හෝ පිණ්ඩපාතය යි කියනු ලැබේ. පිණ්ඩොල්‍යෙන පත්තෙ පතිතත්තා පිණ්ඩපාතො, පිණ්ඩානං වා පාතො පිණ්ඩපාතො)

 

පටීසෙවාමි = වළඳමි

 

නෙව දවාය = ගම් දරු ආදින් මෙන් ක්‍රීඩා පිණිස නොවේ ය.

 

න මදාය = මල්ලවාදීන් මෙන් බලමද පුරිසමද පිණිස නොවේය.

 

න මණ්ඩනාය = ඇතොවුරන් - (අන්තඃපුර ස්ත්‍රීන්) හා වෙසඟනන් ආදීන් මෙන් අඟ පසඟ පිණවන පිණිස නොවේ ය.

 

න විභූසනාය = නළු ආදීන් මෙන් විභූෂණය පිණිස - ප්‍ර‍සන්න ඡවි වර්‍ණය පිණිස නොවේ ය. කිව යුත්තෙක් ඇති. මෙහි “නෙව දවාය” යනු මොහෝපනිඃශ්‍ර‍ය ප්‍ර‍හාණය සඳහා ද, “න මදාය” යනු ද්‍වෙෂෝපනිඃශ්‍ර‍ය ප්‍ර‍හාණය සඳහා ද වදාළේ ය. තවද “නෙවදවාය න මදාය” යනු ස්වකීය කාමරාගාදී සංයෝජනයන්ගේ උත්පත්තිය වැළකීම සඳහා ද “න මදාය න මණ්ඩනාය” යනු පරකීය කාමරාගාදි සංයෝජනයන්ගේ උප්පත්තිය වැලකීම සඳහා ද වදාළ බව හා මේ නෙව දවයාදි සතරින් නුනුවණින් පළිපැදීමෙන් ඇතිවන කාමසුඛල්ලිකානු යොගයාගේ ප්‍ර‍හාණය වදාළ බව ද දතයුතු.

 

යාවදෙව = යනු යට කියන ලද අර්‍ථ මැයි.

 

ඉමස්සකායසස්ස = පඨවි, ආප, තේජ, වායු යන සතර මහා භූතමය වූ මේ රූපකායයාගේ.

 

ඨිතියා = ප්‍ර‍බන්‍ධස්ථිතිය පිණිස සන්තති අවිච්ඡොදය පිණිස.

 

යාපනාය = පැවැත්ම පිණිස - අවිච්ඡෙදය පිණිස නොහොත් බොහෝ කල් පැවැත්ම පිණිස.

 

දිරාගිය ගෙයක මිනිහෙක් එ ගෙට රුකුල් දෙන්නා සේ රිය පදින්නෙක් අකුරෙහි තෙල් ලන්නා සේ ශරීරස්ථිතිය පිණිස, ශරීරයාපනය පිණිස මේ මහණ පිණ්ඩපාතය වළඳයි. දව - මද - මණ්ඩන - විභූසන පිණිස නොවළඳයි සේයි.

 

තව ද ඨිති යනු ජීවිතින්‍ද්‍රියට නමෙකි. එබැවින් “ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය” යන මෙයින් මේ ශරීරය පිළිබඳ ජීවිතින්‍ද්‍රිය පවත්වා ගැන්ම පිණිස යන අර්‍ථය ද කියන ලද බව දතයුතු.

 

විහිංසූපරතියා = පීඩා කරන අර්‍ථයෙන් බඩගින්න විහිංසාය යි කියනු ලැබේ. ව්‍ර‍ණයෙහි බෙහෙත් ලන්නා සේ උණ්හ සීතාදිය ඇති වූ කල්හි එයට ප්‍ර‍තිකාර කරන්නා සේ විහිංසා සංඛ්‍යාත බඩගිනි වළකා ගැන්ම පිණිස පිණ්ඩපාතය වළඳයි.

 

බ්‍ර‍හ්මචරියානුග්ගහාය = සියලු ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවට හා මාර්‍ග බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට අනුග්‍ර‍හ පිණිස.  

 

ඒ එසේ මැ යි :- මේ මහණ පිණ්ඩපාතය වැළඳීමෙන් ලබන කාය බලය නිසා ත්‍රිවිධ ශික්‍ෂායෙහි යෙදී සසර කතරින් එතරවීම සඳහා පිළිපදනේ බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට අනුග්‍ර‍හ පිණිස පිණ්ඩපාතය සෙව්නේ යි.

 

කවුරු කුමක් සෙව්නා මෙන් ද යත්? කාන්තාරයෙන් එතරවනු කැමැත්තෝ පුත්‍ර‍ මාංසය සෙව්නා මෙන්, ගඟෙන් එතරවනු කැමැත්තෝ පසුර සෙව්නා මෙන්, මුහුදෙන් එතර වනු කැමැත්තෝ නැව සෙව්නා මෙනි.

 

ති පුරාණං ච වෙදනං පටිහංඛාමි, නවං ච වෙදනං න උප්පාදෙස්සාමි = මෙසේ මේ පිණ්ඩපාත පටීසේවනයෙන් පැරණි බඩගිනි වේදනාත් නසා පියන්නෙම්. ‘ආභරහත්‍ථක-අලංසාටක-තත්‍ර‍වට්ටක-කාකමාසක-භුත්තවමිතක බමුණන් මෙන් පමණ ඉක්මැ වැළඳීමෙන් ලබන අලුත් වේදනාත් නූපදවන්නෙමි’ යි සලකමින් ගිලනෙක් බෙහෙත් වළඳන්නා සේ පිණ්ඩපාත වළඳයි.

 

තව ද වර්‍තමානයෙහි අසප්පාය-අපරිමිත භෝජන වැළඳී මෙන් ලැබෙන වේදනා පුරාණ කර්‍ම හේතුයෙන් උපදින හෙයින් පූරාණ වේදනා යි කියනු ලැබේ. සප්පාය - පරිමිත - භෝජන වැළඳීමෙන් ඒ පුරාණ වේදනා උපදවන හේතුව නැතිවන හෙයින් පැරණි වේදනාත් නසා පියන්නෙමි යි. මෙකල අයුතු පරිභෝගයෙන් මතු උපදින වේදනා නව වේදනා යයි කියනු ලැබේ. ‘යුතු පරිභෝගයෙන් ඒ නව වේදනා උපදනා හේතුව නැතිවන හෙයින් අලුත් වේදනාත් නූපදවන්නෙමි’ යි සලකා පිණ්ඩපාතය වළඳා යයි මෙසේත් මෙහි ලා අර්‍ථ දතයුතු ය.

 

මෙයින් සුදුසු වූ පරිභෝගයට අවසර ද, අත්තකිලමථානු යෝගයෙන් බැහැර වීම ද, ධාර්මික සැපය නොහැරීම ද දක්වන ලද්දේය යි දතයුතු.

 

යාත්‍රා ච මෙ භවිස්සති= හිත වූ මිත්‍ර‍ වූ භෝජනානුභවය කරණ කොට ගෙන ජීවිතේන්‍ද්‍රිය සිඳ ලන්නා වූ, ඉරියවු බිද ලන්නාවූ ද උවදුරු දුරුවන හෙයින් මේ ශරීරයාගේ බොහෝ කල් පැවතීම් සඞ්ඛ්‍යාත යාත්‍රාව ද වන්නේය යි රෝගියෙක් අහර අනුභව කරන්නා සේ පිණ්ඩපාතය වළඳයි.

 

අනවජජතා ච ඵාසුවිහාරො ච= නිරවද්‍ය භාවය ද පහසු විහරණය ද වන්නේ ය. (කෙසේ නිරවද්‍ය භාවය වන්නේ ද කෙසේ පහසු විහරණය වන්නේ ද යනු මෙහි දක්වනු ලැබේ.) අයුතු සෙවීම් පිළිගැනීම් පරිභෝග කිරීම් හැරැපීමෙන් නිරවද්‍ය භාවය වන්නේ ය. පමණ දැනැ වැළඳීමෙන් පහසු විහරණය වන්නේ ය. තව ද අසප්පාය භෝජන වැළඳීමෙන් ද, පමණ ඉක් මැ වැළඳීමෙන් ද, අරති-තන්‍දි-විජම්භිකා-විඤ්ඤුගරහාදි දොස් උපදී. එබඳු දොස් නූපී මෙන් නිරවද්‍ය භාවය වන්නේ ය. සප්පාය භෝජන වැළඳී මෙන් ද, පමණ දැන වැළඳීමෙන් ද කාය බල ලැබේ. එයින් පහසු වියරණය වන්නේ ය. (අරති නම් කුශල ධර්‍මාදියෙහි නො ඇලීම. තන්‍දි නම් අලස බව විජම්භිකා නම් ඈණුම් ඇරීම-ඇඟ මැළි කැඩීම. විඤ්ඤුගරහ නම් නුවනැත්තන්ගේ ගැරහුම) තව ද ඇතිතාක් බඩ පුරා කෑමෙන් දුරුවීම හේතු කොටැ සෙය්‍යසුඛ-ඵස්සසුඛ-මිසුද්‍ධසුඛ නො ලැබේ. ඒ නොලැබීමෙන් නිරවද්‍ය භාවය වන්නේ ය. සතර පසු පිඩක් වළඳන්නට ඉඩ ඇති වැ අහර කිස නිම කිරීමෙන් ඉරියව් පැවැත්මට පහසු වේ. එසේ වීමෙන් පහසු විහරණය වන්නේ ය.

 

කීයේ මැ යි.

 

“චත්තාරො පඤ්ච ආලොපෙ - අභූත්‍වා උදකං පිවෙ,

අලං ඵාසු විහාරාය - යුත්තයොගස්ස භික්ඛුනො”[112]

 

‘සතර පස් පිඩක් නොවළඳා ජලය පානය කරනු. යොගාවචර භික්‍ෂුහුගේ පහසු විහරණයට එය ප්‍ර‍මාණ වේ.’ යනු ගාථාවේ අදහසයි.

 

‘යාත්‍රා ච මෙ භවිස්සති, අනවජ්ජතා ච ඵාසුවිහාරො ච’ යන මෙයින් ප්‍රයෙව්ජන විඳීම හා මධ්‍යම ප්‍ර‍තිපදාව දක්වන ලදැ යි දතයුතු. (සෙය්‍ය සුඛ නම් ශය්‍යාවෙන් ලැබෙන සැප ය. ඵස්ස සුඛ නම් ඒ අත මේ අත පෙරළීමෙන් ලැබෙන සැප ය. මිද්ධ සුඛ නම් නිදීමෙන් ලැබෙන සැප ය.)

 

පිණ්ඩපාත ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධිය යි.

 

“පටිසංඛා යොනිසො සෙනාසනං පටිසෙවාමි. යාවදෙව භීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංස මකස වාතාතප සිරිංසප සම්ඵස්සානං පටිඝාතාය යාව දෙව උතුපරිස්සය විනොදනං පටිසල්ලානාරාමත්‍ථං”[113] යි ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කරමින් සේනාසන පරිභෝග කළ යුතුයි. “නුවණින් සලකා මම සෙනසුන් පරිභෝග කරමි. (කුමක් පිණිසය යි සලකා සෙනසුන් පරිභෝග කරම් ද යත්? මම සෙනසුන් පරිභෝග කරන්නේ) හුදෙක් සීතල නසනු පිණිස ය. උෂ්ණය නසනු පිණිස ය. මැසි මදුරු අව් සුළං දීර්‍ඝජාතික සර්‍ප යන මොවුන්ගේ ස්පර්‍ශ නසනු පිණිස ය. (වැළි) හුදෙක් උතුසරිස්සය විනෝදනය පිණිස හා පටිසල්ලානාරාමය පිණිස යි” යනු එහි භාවයි.

 

යට නො දැක්වුණු පදයන්ගේ විවරණය මෙසේ ය.

 

සේනාසන = සෙනසුන් සයනය කරන තැන් සේන ය. ඉඳ ගන්නා තැන් ආසන ය. සේන ද ආසන ද = සේනාසන. සේනාසන නම් විහාර ඇඳ පුටු ආදිය යි.

 

උතුපරිස්සය විනෝදනං පටිසල්ලානාරාමත්‍ථං - උතුපරිස්සය විනෝදනය පිණිස හා පටිසල්ලානාරාමය පිණිස. උතු නම් ශීත උෂ්ණාදිය. පරිස්සය නම් පීඩාදායක - උපද්‍ර‍වය. පීඩාදායක සෘතු ම උතුපරිස්සය යි. මෙහි කියන ලදි. එනම් ශරීරාබාධ හා චිත්ත වික්‍ෂේප කර වූ අසප්පාය සෘතු යි. සෙනසුන්හි විසීමෙන් එය දුරු කර ගත හැකි වේ. එසේ දුරු කර ගන්නා පිණිස පටිසල්ලාන නම් සිත එකඟ කර ගැන්ම ය. ඒ පටිසල්ලානයෙහි ඇලීම පටිසල්ලානාරාම ය. ඒ පිණිස ද සෙනසුන් පරිභෝග කරමි යි කී සේයි. සෙනසුන්හි විසීමෙන් සිත එකඟ කර ගත හැකි වේ.

 

මෙහි කියයුත්තෙක් ඇති. “සීතස්ස පටිඝාතාය උණහස්ස පටිඝාතාය” යන මෙයින් උතුපරිස්සය විනෝදනය කියවුණේ ය. නැවත එය කුමක් පිණිස කියන ලද්දේ ද චීවර පරිභෝගයෙහි හා සේනාසන පරිභෝගයෙහි නියත ප්‍රයෝජනය අනියත ප්‍රයෝජනය යි ප්‍රයෝජන දෙකකි. චීවර පරිභෝගයෙහි නියත ප්‍රයෝජනය හිරිකොපීන පටිච්ඡාදනය යි. සෙස්ස අනියත ප්‍රයෝජන යි. කිසි විටෙක මැ ලැබෙන බැවිනි. එමෙන් සේනාසන පරිභෝගයෙහි නියත ප්‍රයෝජනය උතුපරිස්සය විනෝදනය යි. සෙස්ස අනියත ප්‍රයෝජන යි. කිසි විටෙක මැ ලැබෙන බැවිනි. ඒ බැව් ප්‍ර‍කාශ වනු සඳහා මේ පදය නැවත යොදන ලදැයි දත යුතු යි.

 

(මෙහි ලා අන්‍ය වූ ද අර්‍ථ පක්‍ෂයෙක් කියනු ලැබේ)

 

ඒ මෙසේ ය:- උතු සෘතු මැ ය. පරිස්සය නම් උපද්‍ර‍ව ය. ඒ උපද්‍ර‍ව වනාහි ප්‍ර‍කට උපද්‍ර‍වය ප්‍ර‍තිච්ඡන්න උපද්‍ර‍වය යි ද්‍විවිධ වේ ප්‍ර‍කට උපද්‍ර‍ව සිංහ ව්‍යාඝ්‍රාදීහු ය. ප්‍ර‍තිච්ඡන්න උපද්‍ර‍ව රාග ද්වෙෂාදීහු යි. යම් මෙ ද්‍විවිධ උපද්‍ර‍වයෙක් සේනාසනයෙක නො වසන්නවුන්ට ලැබේ ද, සේනාසනයෙහි වසන්නවුන්ට ඒ ඒ ද්‍විවිධ උපද්‍ර‍ව මැ නො ලැබේ. එ බැවින් ‘ඒ ද්‍විවිධ වු මැ උපද්‍ර‍ව වළකනු සඳහා සෙනසුන් පරිභෝග කරමි, යි ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කරන්නේ යයි කී සේයි.

 

ඒ එසේ මැයි:- අසේනාසනයෙහි - විවෘතාඞ්ගණ වෘක්‍ෂ මූලාදියෙහි වසන්නවුන්ට සිංහාදි ප්‍ර‍කටඋපද්‍ර‍ව ද රාගද්වෙෂාදි ප්‍ර‍තිච්ඡන්න උපද්‍ර‍ව ද පැමිණිය හැකි ය.

 

(මෙහි නො දැක්වුණු විවරණ චීවර ප්‍ර‍ත්‍යවේක්‍ෂායෙහි කී පරිදි දත යුතුයි.)

 

සේනාසන ප්‍ර‍ත්‍යවෙක්‍ෂා විධිය යි.

 

“පටිසංඛා යොනිසො ගිලාන පච්චය භෙසජ්ජ පරික්ඛාරං පටිසෙවාමි යාවදෙව උප්පන්නානං වෙය්‍යාබාධිකා නං වෙදනානං පටිඝාතාය අබ්‍යාපජ්ඣ පරමාතාය” යි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරමින් ගිලන්පස බෙහෙත් පිරිකර වැළඳිය යුතුයි. “මම නුවණින් සලකා ගිලන් පස බෙහෙත් පිරිකර වළඳමි. (කුමක් පිණිස යයි සලකා වළඳම් ද යත්? මම ගිලන්පස බෙහෙත් පිරිකර වළඳන්නේ) හුදෙක් ව්‍යාබාධයන්ගෙන් උපන් වේදනා නසනු පිණිස ය, නිදුක පරම බව පිණිස ය” යනු භාවයි.

 

යට නො දැක්වුණු පදයන්ගේ විවරණය මෙසේ ය.

 

ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරං = ගිලන්පස බෙහෙත් පිරිකර ගිලාන නම් රෝගය. පච්චය නම් ප්‍ර‍තිපක්‍ෂ දෙ ය. (පති අයන අර්‍ථයෙන්) භෙසජ්ජ නම් බෙහෙත් ය. භිෂජ්හු ගේ කර්‍මය භෙෂජ්‍ය. ඔහු විසින් (භිෂජ් සංඛ්‍යාත වෙදනු විසින්) අනුදන්නා ලද බැවිනි. එවිට ගිලානයට-රෝගයට ප්‍ර‍තිපක්‍ෂ වූ (සප්පාය වූ) භෙසජ්ජ-ගිලානපච්චය භේසජ්ජ යි. රෝගයට සප්පාය වූ යම්කිසි තෙල් මී පැණි ආදියෙක් කියන ලදැයි දත යුතු පරික්ඛාර ශබ්දයෙන් පිරිවාරය අලංකාරය සම්භාරය යි, අර්‍ථ තුනෙක් කියනු ලැබේ.

 

“සත්තහි නගරපරික්ඛාරෙහි සුපරික්ඛිතං හොති”[114] යනාදී පාළියෙහි පරික්ඛාර ශබ්දයෙන් පරිවාරය කියන ලදී. “සප්තනගර පරිවාරයන්ගෙන් පරික්‍ෂාප්ත ය” යනු එහි අර්‍ථ යි. (නගර පරිවාර සත නම් කවාට, පරිඛා, උද්දාප, පාකාර, ඵසිකා පරිඝා, පාකාරත්‍ථණ්ඩිල යන මොහුයි.)

 

“රථො සීලපරික්ඛාරො-ඣානක්ඛො චක්කවිරියො”[115] යනාදි පාළියෙහි පරික්ඛාර ශබ්දයෙන් අලඞ්කාරය කියනු ලැබේ. “සීල නමැති අලඞ්කාර ඇති, ධ්‍යාන නමැති අකුරු ඇති, වීර්‍ය්‍ය නමැති චක්‍ර‍ ඇති ආර්‍ය්‍ය මාර්‍ග නමැති රථය” යනු එහි අර්‍ථ යි.

 

“යෙ චිමේ පබ්බජිතෙන ජීවිත පරික්ඛාරා සමුදානෙ තබ්බා”[116] යනාදි පාළියෙහි පරික්ඛාර ශබ්දයෙන් සම්භාරය කියන ලදී. “පැවිද්දා විසින් යම් ජීවිත සම්භාර කෙනෙක් එළවිය යුත්තාහු ද” යනු එහ අර්‍ථ යි.

 

මෙහි වනාහි පරිවාරය, සම්භාරය යන අර්‍ථද්වය කිය යුතු. ඒ ගිලානපච්චය භෙසජ්ජ ජීවිතයාගේ පරිවාර වෙයි. ජීවිත නසන ආබාධ උපදීමට අවකාශ නොදී රැකගන්නා හෙයිනි. ජීවිතයාගේ සම්භාරත් වෙයි. බොහෝ කල් ජීවිත ප්‍ර‍වෘත්තයට කාරණ වන හෙයිනි. ගිලාන පච්චය භෙසජ්ජ වූයෙත් හේ මැ ය. පරික්ඛාර වූයේත් හේ මැ නුයි ගිලාන පච්චය භෙසජ්ජ පරික්ඛාර, ගිලන් බව දුරු කිරීමට සප්පාය වන වෙදුන් විසින් නියම කළ තෙල් මීපැණි ආදී ජීවිත පරිවාර ජීවිත සම්භාරය යි කී සේයි.

 

උප්පන්නාන= උපන් - හටගත්.

 

වෙය්‍යාබාධිකාන= ව්‍යාබාධයෙන් නිපන් “වෙදනානං” යන්නට විශේෂණ යි. “ව්‍යාබාධ” නම් ධාතුක්‍ෂොභ හා ඒ ධාතුක්‍ෂොභයෙන් නැගෙන කුෂ්ට ගඩු පිළිකාදි ය.

 

වෙදනානං= දුක් වේදනාවන්ගේ - අකුශල විපාක වේදනා වන්ගේ

 

අබ්‍යාපජ්ඣපරමතාය= නිදුක පරම බව පිණිස යම් පමණෙකින් ඒ සියලු දුක් ප්‍ර‍හීණ වේ ද, එපමණක් පිණිස (ව්‍යාබාධො’ච - ව්‍යාපජ්ඣං = දුක්ඛං, නත්‍ථි ඵත්‍ථ ඛ්‍යාපජ්ඣංති අඛ්‍යාපජ්ඣා, නිද්දුක්ඛතා.)

 

ගිලාන ප්‍ර‍ත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධිය යි.

 

මෙතෙකින් නුවණින් සලකා ප්‍ර‍ත්‍යය පරිභෝග ලක්‍ෂණ වූ - ප්‍ර‍ත්‍යයසන්නිඃශ්‍රිත ශීලය දත යුතු. මෙහි ප්‍ර‍ත්‍යය නම් චීවරාදි සිව්පස ය. එය ඇසුරු කෙළේ ප්‍ර‍ත්‍යයසන්නිඃශ්‍රිත යි. (‘යෙ පටිච්ච = නිස්සාය පරිභුක්‍ජමානා පාණිනො යන්ති = ගච්ඡන්ති = පවත්තන්ති තෙ පච්චයා’ යනු පච්චය ශබ්දයාගේ නිර්‍වවන යි.)

 

ප්‍ර‍ත්‍යය සනනිඃශ්‍රිත ශීලය නිමියේ ය.

 

මේ සතර සංවර ශීලය කෙසේ සම්පාදනය කළ යුතු ද

 

මේ සතර සංවර සීල අතුරෙන් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය ශ්‍ර‍ද්ධායෙන් සම්පාදනය කළ යුතු. එයට ශ්‍ර‍ද්ධාව මැ සාධන ය. ඒ එසේ මැ යි:- ශික්‍ෂාපද පැමිණවීම බුදුනට විනා ශ්‍රාවකයන්ට විෂය නොවේ. (සැරියුත් ස්වාමි ශික්‍ෂාපද පැණවීමට යාච්ඤා කළ කල්හි බුදුහු : “ආගමෙහි ත්‍වං සාරිපුත්ත තථාගතොව තත්‍ථ කාලං ඡානිස්සති”[117] යි ශාරිපුත්‍ර‍ය! තොප නවතින්න, තථාගතයෝ මැ එයට කල් දනිත්” යයි ප්‍ර‍තික්‍ෂේප කළ සේක. එබැවින් ශ්‍රාවකයන් විසින් තථාගතයන් වහන්සේ පැණ වූ ශික්‍ෂාපද අඩු වැඩි නො කොටැ සැදැහැයෙන් සමාදන් වැ ජීවිතයෙහි දු ආශාව හැරැ පියා මනාවැ රැක්ක යුතු. කීයේ මැ යි.

 

“කිකීව අණ්ඩං චමරීව වාලධිං

පියංව පුත්තං නයනංව එකකං

තථෙව සීලං අනුරක්ඛමානකා

සුපෙසලා හොථ සදා සගාරවා.”

 

‘කිරළ බිජුවට මෙන් ද, සෙමෙර වාලධිය මෙන්ද, මව්පියෝ එක මැ ප්‍රිය පුතු මෙන් ද, එකැස් ඇතියේ ඒ එකැස මෙන්ද ශීල රක්නාහු ඇමකල්හි බුද්ධාදීන් කෙරෙහි ගෞරව ඇති වැ මනා වැ ප්‍රියශීලී වව්, යනු භාවයි.

 

ඒ සඳහා වදාළ අන්‍ය දේශනාවක් ද මෙසේ ය.

 

එවමෙව ඛො පහාරාද යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතු පි නාතික්කමන්තී”[118] ‘පහාරාදය! මුහුද වෙරළ ඉක්මැ නොයන්නාසේ මගේ ශ්‍රාවකයෝ මා විසින් පැණවූ ශික්‍ෂාපද ජීවිතය නිසාවත් ඉක්මැ නොයති’ යනු එහි භාවයි. වනයෙහි සොරුන් විසින් බැඳ තුබූ ස්ථවිරයන්ගේ කථා මීට නිදර්‍ශන, වශයෙන් දත යුතු.

 

මහාවත්තනි නම් වනයෙහි දී සොරු එක් තෙර කෙනෙකුන් දැකැ කලවැලින් බැඳැ දැමූහ. උන්වහන්සේ වැල නොකඩා සත් දවසක් එහි හොත් සැටියේ ම හෙවැ විදර්‍ශනා භාවනා කරන්නෝ අනාගාමී වැ එහි ම කාලක්‍රියා කොට බඹලොව උපන් සේක.

 

එසේ මැ ලක්දිව සොරමුලෙක් එක් තෙර කෙනෙකුන් රසකිඳ වැලකින් බැඳ දැමූහ. උන්වහන්සේ ළැව් ගින්නෙන් වනය දා වැටෙන කල්හි දු වැල නො කඩා එහි ම හෙවැ භාවනා කරන සේක් ජීවිත සමසීසී වැ පිරිනිවි සේක. (ජීවිත සමසීසී නම් රහත් වූ කෙණෙහි මැ පිරිනිවන්නේ යි.) දීඝභාණක අභය තෙරුන්වහන්සේ ඒ දැකැ ශරීරය ආදාහන කොටැ ධාතු ගෙන චෛත්‍යයක් කර වූ සේක. එබැවින් අන්‍ය වූ ද සැදැහැවත් කුලදරුවා :-

 

පාමොක් රකින්නේ - සිය දිවි හළ ද එ මැනෝ,

ලෝ හිමි සඳුන් පැණ වූ - සිකපද නොමැ බිඳින්නේ[119]

 

ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය රැක්ක යුතු ආකාරය යි.

 

ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය ශ්‍ර‍ද්ධායෙන් සම්පාදනය කළ යුතු සේ මැ ඉන්‍ද්‍රිය සංවර ශීලය සිහියෙන් සම්පාදනය කළ යුතු. එයට සිහිටය සාධනය සිහියෙන් රැකගත් ඉන්‍ද්‍රිය අභිජ්ඣාදි පාප ධර්‍මයෝ ලුහු නො බඳිත්. එබැවින් “වරං භික්ඛවෙ තත්තාය අයොසලාකාය ආදිත්තාය සමපජ්ජලිතාය සජොති භූතාය චක්ඛුන්‍ද්‍රියං සම්පලිමට්ඨ, න ත්‍වෙ ව චක්ඛුවිඤෙඤය්‍යෙසු රූපෙසු අනුව්‍යඤ්ජනසො නිමිත්තග්ගාහො”[120] මහණෙනි, රත් වූ ගිනිගෙන දිලිහෙන යවුලකින් ඇස මදිනා ලද්දේ මැනව. චක්‍ෂුර්විඥෙය රූපයන්හි අනුඛ්‍යඤ්ජන වශයෙන් නිමිත්ත ග්‍ර‍හණය නො මැනව” - යනාදීන් වදාළ ආදිත්ත පරියාය දේශනාව සිහි කරමින්, රූපාදි ආරම්මණයන්හි චක්‍ෂුර්ද්වාරාදියෙහි පැවැති සිත් අභිජ්ඣාදීන් විසින් ලුහුබැඳ යත හැකි නිමිත්ත ග්‍ර‍හණය නො නැසුණු සිහියෙන් වළක්වා ලමින් මේ ඉන්‍ද්‍රිය සංවර ශීලය මනාකොට රැක ගත යුතුයි. ඉදින් ඉන්‍ද්‍රිය සංවර ශීලය නොරැකුණේ නම් යට දැක්වුණු ප්‍රාතිමෝක්‍ෂය සංවර ශීලය ද වැට නැති ගොයමක් මෙන් නො රැකුණේ වේ. චිරස්ථායී නො වේ. දොරවල් හැර දමා තිබෙන ගම සොරුන් විසින් පැහැර ගනු ලබන්නා සේ මැ ඒ ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය එවිට කෙලෙස් සොරුන් විසින් පැහැර ගනු ලැබේ. එ පමණක් ද මනාව සෙවෙණි නො කළ ගෙය වැසි දියෙන් මෙන් ඔහුගේ සිත රාගයෙන් තෙමෙන්නේ ය.

වදාළේ මැ යි.

 

“රූපෙසු සද්දෙසු අථො රසෙසු

ගන්‍ධෙසු ඵස්සෙසු ච රක්ඛ ඉන්‍ද්‍රියං

එතෙ හි වාරා විවටා අරක්ඛිතා

හනන්ති ගාමංච පරස්සහාරිනො”[121]

 

“රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්‍ශ හේතුවෙන් උපදනා කෙලෙසුන් කෙරෙන් සිත රැක ගනු. නො පියූ - නො රැකු චක්‍ෂුරාදි ද්වාරයෝ ඒ අසංවරික පුද්ගලයා ගම් පහරන සොරු ගමක් මෙන් විනාශ කරත්” යනු එහි භාවයි.

 

“යථාගාරං දුච්ඡන්නං - චුටඨි සමතිවිජ්ඣති

එවං අහාවිතං චිත්තං - රාගො සමතිවිජ්ඣති”[122]

 

“වැස්ස මනා වැ සෙවෙණි නොකළ ගෙය තෙමන්නා සේ රාගය භාවනා රහිත සිත තෙමෙන්නේ ය”යනු භාවයි.

 

සර්වාකාරයෙන් කෙලෙස් නූපදින්නේ යයි මේ වදාළ දේශනා උත්කෘෂට දේශනා ය. සිත වනාහි වහා පෙරලෙන සුලු ය. එබැවින් සිත පෙරලීම් වශයෙන් යම් විටෙක රාගය උපන්නේ ද එවිට අසුභ මෙනෙහි කිරීමේ ඒ රාගය දුරු කොටැ ගෙනැ ඉන්‍ද්‍රිය සංවරය රැක ගත යුතු ය. අලුත පැවිදි වූ වංගිස ස්වාමින් මෙනි.

 

වංගීස ස්වාමි පැවිදි වූ අලුත ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමඟ පිඬු පිණිස වඩින්නේ එක් ස්ත්‍රියක දැක උපන් රාගයෙන් මෙසේ කීවේ ය.

 

“කාමරාගෙන ඩය්හාමි-චිත්තං මෙ පරිඩය්හති

සාධු නිබ්බාපනං බ්‍රෑහි - අනුකම්පාය ගොතම”[123]

 

“මම කාමරාගයෙන් දැවෙමි. මගේ සිත රාගයෙන් දැවේ. ගෞතම පුත්‍ර‍යාණෙනි එය නිවන උපායක් කරුණාවෙන් වදාළ මැනවි

 

ඒ ඇසූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.

 

“සඤ්ඤාය විපරියෙසා - චිත්තං තෙ පරිඩය්හති

නිමිත්තං පරිචජ්ජේහි - සුභං රාගුපසංහිතං

අසුහාය විත්තං භාවෙහි - එකග්ගං සුසමාහිතං

සඞ්ඛාරෙ පරතො පස්ස - දුක්ඛතො නො ච අත්තතො

නිබ්බාපෙහි මහාරාගං - මා ඩය්හිත්‍ථො පුනප්පුනං”[124]

 

“විපරීත සංඥාව හේතු කොට තොපගේ සිත රාගයෙන් දැවේ. රාගොත්පත්තියට හේතු වූ ශුහාරම්මණය සිතින් දුරු කරනු. අශුහාරම්මණයෙහි එකඟ කොට - සමාහිත කොට සිත වඩනු. සියලු සංස්කාරයන් පර වශයෙන් දුක් වශයෙන් බලනු ආත්ම වශයෙන් නො බලනු. තොපගේ මහා රාගය නිවාලනු එයින් නැවත නැවත නො පැලහෙනු” යනු භායයි.

 

ඒ ඇසූ වංගීස ස්වාමි රාගය සිතින් දුරු කොට ගෙන මැ පිඬු පිණිස පිවිසියේ ය.

 

වැළිදු ඉන්‍ද්‍රිය සංවරය පුරන්නාහු විසින් කරද්‍ධු මහලෙන චිත්තගුත්ත තෙරුන් මෙන් ද චොරක මහවෙහෙර මහාමිත්ත තෙරුන් මෙන් ද විය යුතු.

 

කරද්‍ධුලෙන චිත්තගුත්ත තෙරුන්නාන්සේ

 

කරද්‍ධුලෙන විහාරයෙහි විපස්සි ආදි සත්බුදුවරයන්ගේ ගෘහාභිනිෂ්ක්‍ර‍මණ විසිතුරු ලෙස සිතියම් කරැ තුබුණේ ය. එක් දවසෙක භික්‍ෂු සමූහයෙක් විහාර බලමින් වඩනා ගමන් එහි දු ආවෝ ය. ඔව්හු විහාරයෙහි සිතියම් දැක “ස්වාමීනි සිතියම් සිත්කලු ය”යි ගොස් චිත්තගුත්ත තෙරුන්ට කීවෝ ය. “ඇවැත්නි මම සැට වර්‍ෂයකටත් පෙර සිට මේ ලෙනෙහි වසමි. එතෙක් මෙතෙක් මෙහි සිතියම් ඇති බවකුත් නො දැන සිටියෙමි. අද ඇස් ඇතියවුන් නිසා ඒ දැන ගතිමි”යි උන්වහන්සේ කී සේක. චිත්තගුත්ත ස්වාමි කිසි විටෙක ඇස දල්වා උඩ නො බලන ලද්දේය. එතෙක් ද ඒ ලෙන් දොර මහ නා රුකෙක් විය. අවුරුදු පතා බිම වැටී තිබෙන මල් රේනු දැක නා ගස පිපියේ වනැ’යි සිතනු විනා උන්වහන්සේ කිසි දවසෙක නා ගස උඩ නොබලන ලද්දේය.

 

මාගම විසු රජ්ජුරුවෝ උන්වහන්සේගේ ගුණ සම්පත්තිය අසා පැහැදැ වැඳැ ගන්නා රිසියෙන් තුන් වරෙක පණිවුඩ යැවූහ. උන්වහන්සේ නො වැඩි සේක. එවිට රජතුමා “තෙරුන් වහන්සේ වඩනා තාක් දරුවන්ට කිරි බොන්නට නො දෙමැ”යි එ ගම කිරි බොන දරුවන් ඇති ගැහැණුන්ගේ තන පටින් බඳවා මුද්දර තැබුවේ ය. තෙරුන් වහන්සේ ද දරුවන් කෙරෙහි කරුණායෙන් මාගමට වැඩි සේක. රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ අන්තඃපුරයට පමුණුවා වැඳැ වළඳවා “අද අවකාශ නැත. සෙට සිල් ගනිමි”යි උන්වහන්සේ ගේ පාත්‍ර‍ය ගෙන මඳ තැන් ගොස් දේවිය සමග වැඳැ නැවතුණහ. තෙරුන් වහන්සේ රජ්ජුරුවන් වඳනා කල්හි දු දේවිය වඳනා කල්හි දු “සුඛී හෝතු මහාරාජා”යි කියති. සතියක් මැ මේ ලෙසින් ගත විය. භික්‍ෂූහු “ස්වාමීනි රජ්ජුරුවන් වඳනා කල්හි දු දේවිය වඳනා කල්හි දු කුමක් හෙයින් ‘මහරජ සුවපත් වේවා’යි කියන සේක්දැ”යි ඇසූහ. “මම රජ්ජුරුවන් වඳනා බවක් හෝ දේවීන් වඳනා බවක් හෝ නියම නොකරමැ”යි උන්වහන්සේ කී සේක.

 

රජතුමා තෙරුන් වහන්සේට මෙහි වාසය අපහසු ය’යි කරඩු ලෙනට මැ යැවූයේ ය. උන්වහන්සේ එ දින රෑ සක්මන් මලුවට බටහ. නාග වෘක්‍ෂාධිගෘහිත දේවතාණෝ දඩුවැට පහන් අල්වා සිට ගත්හ. උන්වහන්සේට කමටහන විසද විය පිරිසිදු වැ වැටහුණේ ය. උන්වහන්සේ ඒ දැනැ ඉතා සතුටු වැ භාවනා කරන සේක් මැදියම ඉක්මෙන්නා ම මුළු වනය උන්නාද කරවමින් රහත් වූ සේක.

 

වන වඳුරු තැතිගත් - මුව බියපත් ළදරු සේ,

අත්වැඩ කැමති කුලපුත් - සසල නෙත් යුත් නොවන්නේ;

යට හෙළා ලු ඇසින් - වියදඩු පමණ බලනේ,

වඳුරු ගති යුත් මනසට වසඟ නො මැ වන් කිසිවිට.

 

මහාමිත්ත තෙරුන්නාන්සේ

 

මහාමිත්ත තෙරුන්නාන්සේගේ මෑණියන්ට විසගණ්ඩ රෝගයෙක් වැළඳුණේ ය. ඇය ගේ දූ ද භික්‍ෂුණී ශාසනයෙහි පැවිදි වැ වුසුවා ය. මෑණියෝ දුහිතා වූ භික්‍ෂුණියට අමතා, “ආර්‍ය්‍යාවනි යන්න, සහෝදර ස්වාමීන්ට මගේ රෝගය දන්වා සුදුසු බෙහෙතක් ඉල්ලා ගෙන ඒව”යි කීහ. ඕ ගොස් එ පුවත් දැන්වූවා ය. ඒ අසා තෙරුන්නාන්ගේ කියනසේක් ‘මම බෙහෙත් සාදන්ට නො දනිමි. එසේ වූවා ද මම තිට බෙහෙත් කියමි. මම පැවිදි වූ තෙක් පටන් ලෝභ සහගත සිතින් ඉඳුරන් බිඳැ විසභාග රූපයක් දිසා නො බැලුයෙමි. “මේ සත්‍ය වචනයෙන් මගේ මෑණියන්ට සුව වේවා”යි යන මේ කියා උපාසිකාව්නගේ ශරීරය පිරිමදින්නැ”යි කීහ. භික්‍ෂුණී එසේ කළා ය. එ කෙණෙහි මැ ගෙඩිය පෙණ පිඩක් මෙන් වියලී ගියේ ය. මෑණියෝ නැඟිට “ඉදින් බුදුරජාණන් වහන්සේ අද ජීවමාන සේක් නම් මගේ පුත්‍ර‍යා බඳු භික්‍ෂුවකගේ ශීර්‍ෂය කුමක් හෙයින් නො පිරිමදිනා සේක්දැ”යි ප්‍රීති වචන කීවෝ ය.

 

එබැවින්:-

“මම් කුලපුත්මි’ යන-මාන යුත් සෙසු මහණ ද,

මිත් තෙරිඳු ලෙස සිටිනේ - ඉඳුරු සංවර කල්හි.”[125]

ඉන්‍ද්‍රියසංවර ශීලය රැක්ක යුතු ආකාරයයි.

 

      ඉන්‍ද්‍රිය සංවර ශීලය සිහියෙන් සම්පාදනය කළ යුතුසේ මැ ආජීවපාරිශුද්ධි ශීලය වීර්‍ය්‍යයෙන් සම්පාදනය කළ යුතු. එයට සාධනය වීර්‍ය්‍යය යි. යහපත් වීර්‍ය්‍යය ඇත්තාහට මිත්‍යාජීවය දුරු කළ හැකිය. එ බැවින් නුසුදුසු ලෙස සිව්පස සෙවුම් දුරු කොටැ යහපත් වූ පිණ්ඩපාතචර්‍ය්‍යාදි සෙවුම් වලින් වීර්‍ය්‍යයෙන් මේ ආජීවපාරිශුද්ධි ශීලය රැක ගත යුතු. පිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යය මැ වැළඳිය යුතු. අපිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යය විසඝෝර සර්‍පයන් මෙන් දුරුකල යුතු ධුතාඞ්ගධර නොවූ භික්‍ෂුහට සඞ්ඝයාගෙන් ද, ගණයාගෙන් ද, ධර්‍මදේශනාදි ස්වකීය ගුණයෙන් පහන් වූ ගිහීන්ගෙන් ද උපන් ප්‍ර‍ත්‍යය පිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යය වේ. පිණ්ඩපාත චර්‍ය්‍යාදියෙන් උපන් ප්‍ර‍ත්‍යය ඉතා පිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යයයි. ධුතාංගධර භික්‍ෂු හට පිණ්ඩපාත චර්යාදියෙන් ද, ධුතගුණයෙහි පහන් ගිහීන්ගෙන් ධුතාඞ්ග[126]ධරයකු හට රෝගයක් වැළඳුණේ යයි සිතමු. ඔහුගේ ඒ රෝග ව්‍යපසමයට පූතිමූත්‍ර‍ පරිභාවිත අරළු හා චතුමධුර ලැබෙන්නේය. යමෙක් වනාහි “චතුමධුර සෙසු භික්‍ෂුහු වළඳත්වා”යි සිතා අරළුව මැ වළඳා ද එබඳු ධුතාංග සමාදානයට යෝග්‍ය වන්නේ වේ. හෙ තෙමේ මැ උතුම් ආර්‍ය්‍යවංශිකයා යි කියනු ලැබේ.

 

නිමිත්ත, ඔභාස, පරිකථා, විඤ්ඤත්ති

 

ධුතාඞ්ගධර වේවා, ධුතාඞ්ගධර නො වේවා ආජීවය පිරිසිදු කරගන්නා භික්‍ෂු හට චීවර හා පිණ්ඩපාත පිළිබඳව වැ නිමිත්ත, ඔභාස, පරිකථා, විඤ්ඤත්ති නො වටනේ ය. සේනාසන පිළිබඳ වැ (ධුතාඞ්ගධර නො වූ හට) නිමිත්ත, ඔහාස, පරිකථා පමණක් වටනේ ය. විඤ්ඤත්ති නොවටනේ ය.

 

නිමිත්ත- (භික්‍ෂු නමෙක් ගිහියන් එනු දැකැ) සේනාසනයක් කරනු සඳහා භුමි පරිකර්මාදිය කරයි. ඔව්හු අවුත් “ස්වාමීන් වහන්සේ මේ කුමක් කරන සේක් ද මේ කරදෙන්නේ කවරෙක් දැ”යි විචාරත් භික්‍ෂු “එබන්දෙක් නැතැ”යි කියයි (ඒ අසා ගිහියෝ එය අපි කර දෙමු යයි කරැ දෙත්) මේ හෝ මෙ බඳු අනෙක් විධි හෝ නිමිත්ත යයි දත යුතු.

 

ඔභාස- භික්‍ෂු නමෙක් උපාසකයන් ගෙන් “උපාසකවරුනි යුෂ්මත්හු කොහි වසන්නාහු දැ”යි විචාරයි. එවිට ඔව්හු “අපි ප්‍රාසාදයන්හි වසමු”යයි කියති. එවිට භික්‍ෂු “හැයි උපාසකවරුනි භික්‍ෂුන්ට ප්‍ර‍සාද නුසුදුසු දැ”යි විචාරයි. මේ හෝ මේ බඳු අනෙක් විධි හෝ ඔභාස යයි දත යුතු.

 

පරිකථා- (භික්‍ෂු නමෙක් උපාසකවරුන් දැකැ) “භික්‍ෂු සඞ්ඝයාට සේනස්න සම්බාධය”යි කියයි මේ හෝ මේ බඳු අනෙක් ක්‍ර‍ම හෝ පරිකථා යයි දත යුතු.

 

(මේ නිමිත්ත, ඔභාස, පරිකථාවන්ගෙන් නිපන් සේනාසන අකැප නොවේ. එයින් නිපන් චීවර පිණ්ඩපාත ඇකැප වේ. විඤ්ඤත්තියෙන් නිපන් චීවර පිණ්ඩපාත සේනාසන යන ප්‍ර‍ත්‍යය තුන මැ අකැප වේ.

 

විඤ්ඤත්තා නම්, නොනෑ නොපැවරුවන් ගෙන් ඉල්ලීමය.

 

බෙහෙත් පිළිබඳ වැ වනාහි නිමිත්ත, ඔභාස, පරිකථා විඤ්ඤත්ති යන සියල්ල වටනේ ය. එහෙත් රෝගය සන්සිඳුණු කල්හි එසේ ලද දෙය වැළඳීම නො වටනේ ය. මෙහි ලා විනයධරයෝ “ඒ වැළඳීමට බුදුන් අවසර දුන් හෙයින් වටනේය”යි ද සූත්‍රාන්තිකයෝ “එය වැළඳීමෙන් ඇවැත් නො වුවත් ආජීවය කෝප්‍ය වන බැවින් නො වටනේ ය”යි ද කියත්.

 

යමෙක් වනාහි මහ සැරියුත් ස්වාමීන් මෙන් යට දැක්වුණු සේ බුදුන් වහන්සේගෙන් අවසර ඇතත් ජීවිත විනාශයක් ලං වූ කල්හි දු කිසි ප්‍ර‍ත්‍යයක් පිළිබඳ වැ නිමිත්ත, ඔභාස, පරිකථා, විඤ්ඤත්ති නො කරන්නේ ලද දෙයෙකින් යැපේ ද හෙතෙම “පරමසල්ලෙඛවුත්ති”=“අතිශයින් කෙලෙස් නසන පැවතුම් ඇත්තේ” යයි කියනු ලැබේ.

 

ශාරිපුත්‍ර‍ ස්වාමීන් වහන්සේ

 

එක් කලෙක සැරියුත් ස්වාමි විවේක සැප වඩන්නේ මුගලන් තෙරුන් සමඟ එක්තරා අරණ්‍යයෙක විසුවේ ය. එහි දී එක් දවසෙක උන්වහන්සේට උදරවාතාබාධයෙක් (බඩරුජාවෙක්) විය. බලවත් වේදනා උපන්නේ ය. මුගලන් තෙරුන්නාන්සේ සවස එහි උපස්ථානයට ගිය සේක් එපවත් දැනැ “වෙනදා මෙබන්දක් සෑදුණු කල කෙසේ සුව කැරැ ගත් සේක් දැ”යි විචාළහ. “මට ගිහි කාලයේ ද මේ ආබාධය සෑදෙන්නේය. එවිට මෑණියෝ ගිතෙල් මී සකුරු යොදා පැන් නුමුසු කිරිබතක් සාදා දෙති. එය වැළඳූ කල සුව වන්නේය”යි සැරියුත් ස්වාමි කීය. “හොඳා එසේ වේවා. අපට හෝ ඔබ වහන්සේට හෝ පින් ඇති නම් හෙට එබඳු ආහාරයක් ලබන්නේ” යි මුගලන් ස්වාමි කීයේ ය. දෙනො වහන්සේගේ මේ කථාව අසා උන් සක්මන් කෙළවර වෘක්‍ෂයෙහි අධිගෘහිත වූ දේවතාණෝ “හෙට සැරියුත් ස්වාමීන් වහන්සේට පිණ්ඩපාත දානය උපදවන්නෙමි”යි එකෙණෙහි මැ තෙරුන්නාන්සේගේ උපස්ථායක කුලයට ගොස් ඔහුගේ වැඩිමහලු පුතුට ආවේශ වැ පීඩා ඉපැදවූහ. පිළියම් පිණිස රැස් වූ නෑයන්ට “ඉදින් හෙට සැරියුත් ස්වාමීන්ට කිරිබත් පුදන්නාහු නම් මොහු හැරැ යමි”යි ද කීහ. ඔව්හු “තොප නො කීවද අපි නිතර ඒ ස්වාමීන් වහන්සේට භික්‍ෂා දෙන්නෙමු” යි කියා දෙවන දිනයෙහි එබඳු වූ මැ කිරිබත් පිළියෙල කළහ.[127]

 

මුගලන් ස්වාමි උදෑසන මැ ගොස් “මම පිණ්ඩපාතයේ යමි. එන තාක් වැඩ සිටින්නැ”යි කියා ගමට වැඩියේ ය. මිනිස්සු පැන අවුත් උන්වහන්සේගේ පාත්‍ර‍ය ගෙනැ කිරිබත් පුරවා දුන්හ. ආපසු වඩනා සූදානම් වූ කල “වැඩහිඳැ වළඳන්න ස්වාමිනි පසු වැ තවත් දෙන්නෙමු”යි කියා උන්වහන්සේ වළඳවාලා පසු වැ කිරිබත් පාත්‍ර‍ය පුරා දුන්නෝ ය. “තෙරුන්වහන්සේ එය ගෙන ගොස් සැරියුත් ස්වාමීන්ට “වළඳනු මැනවැ”යි පිළිගැන්වූහ. සැරියුත් ස්වාමි ඒ දැකැ “මේ කිරිබත ඉතා හොඳය, කෙසේ ලැබුණේ දැ”යි බලන්නේ ලත් සැටි දැකැ “අහක දමන්න ආයුෂ්මත්නි මේ වළඳන්නට නුසුදුසු ය”යි වදාළේ ය. “මා වැන්නකු ගෙනා පිණ්ඩපාතය ද මුන්වහන්සේ නො වළඳිති”යි මුගලන් තෙරුන්නාන්සේ චිත්ත මාත්‍ර‍යකු දු නූපදවා ඒ එක වචනයෙන් මා පාත්‍ර‍ය මුවවිටෙහි ගෙනැ එහි තුබූ කිරිබත එකත්පසෙක හළ සේක. එකෙණෙහි මැ උන්වහන්සේ ගේ ආබාධය අතුරුදහන් විය. එතැන් පටන් පන්සාළිස් වස මුළුල්ලෙහි ඒ රෝගය නැවත නො උපන්නේ ය.

 

ඉක්බිති සැරියුත් ස්වාමි මුගලන් තෙරුන් අමතා “ආයුෂ්මත්නි, අතුණු නික්මැ බිම වැතිරැ ගිය ද වාග් විඥප්තියෙන් නිපන් ආහාරය වළඳන්නට නුසුදුසුය”යි වදාරා මෙසේ උදන් ඇණීය.

 

1.  “චවීවිඤ්ඤත්ති විප්ථාරා - උප්පන්තං මධු පායසං

සචෙ භුත්තො භවෙය්‍යාහං - සාජීවො ගරහිතො මම

 

2.  යදපි මෙ අන්තගුණං - නික්ඛමිත්‍වා බහී චරෙ,

නෙව භින්‍දෙය්‍යමාජීවං - චජෙමානො‘පි ජීවිතං.

 

3.  ආරාධෙමි සකං චිත්තං - විවජ්ජෙමි අනෙසනං,

නාහං බුද්‍ධපතිකුට්ඨං - කාහාමි අනෙසනං.”

 

1.  වාග් විඥප්ති පැවැත්මෙන් නිපන් කිරිබත ඉදින් මම වැළඳූයෙම් නම් මගේ ආජීවය ගර්හිත වන්නේ ය.

2.  ඉදින් මගේ අතුනු පිටත නික්මියේ නමුදු, දිවි හරනේ නමුදු මම මගේ ආජීවය නො බිඳින්නෙමි.

3.  මම මගේ සිත වසඟ කරමි. අයුතු අන්වේෂණ - (ප්‍ර‍ත්‍යය) දුරු කරමි. බුද්‍ධගර්භිත වූ අන්වෙෂණයක් (ප්‍ර‍ත්‍යය සෙවීමක්) කිසි විටෙක නො කරන්නෙමි”යනු එහි භාවයි.

 

චීවරගුම්බක වාසී අම්බබාදක මහාතිස්ස තෙරුන්ගේ කථාව ද මෙහි ලා දෘෂ්ටාන්ත වශයෙන් දැක්විය යුතු. මෙසේ සර්‍වප්‍ර‍කාරයෙන් මැ-

 

සැදැහැයෙන් පැවිදි වූ - නැණැති යති අනෙසන වස්,

සිතකුදු නො මැ උපදවා - දිවි පිරිසිදු කරන්නේ.[128]

 

ආජීවපාරිසුද්‍ධි සීලය රැකගත යුතු ආකාරය යි.

 

ආජීවපාරිසුද්‍ධිසීලය වීර්‍ය්‍යයෙන් සම්පාදනය කළ යුතු සේ මැ ප්‍ර‍ත්‍යයසන්නිඃශ්‍රිත ශීලය ප්‍ර‍ඥායෙන් සම්පාදනය කළ යුතු. එයට සාධනය ප්‍ර‍ඥා ය. ප්‍රාඥයා මැ ප්‍ර‍ත්‍යයන්හි ආදීනව හා ආනිසංස දක්නට සමර්‍ථ ය. එබැවින් ප්‍ර‍ත්‍යයගෙධය (ප්‍ර‍ත්‍යයාශාව) හැරැපියා දැහැමින් සෙමෙන් උපන් ප්‍ර‍ත්‍යය යට දැක්වුණු පරිදි ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කොටැ වළඳමින් ඒ පච්චය සන්නිස්සිතසීලය රැක ගත යුතුයි.

 

ප්‍ර‍ත්‍යවේක්‍ෂා වනාහි ප්‍ර‍ත්‍යය ලත් කල කරනු ලබන ප්‍ර‍ත්‍යවේක්‍ෂාය, ප්‍ර‍ත්‍යය පරිභෝග කරන කල කරනු ලබන ප්‍ර‍ත්‍යවේක්‍ෂාය යි දවිවිධ වේ. ලත් මොහොතෙහි ධාතු වශයෙන් හෝ පිළිකුල් වශයෙන් හෝ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොටැ තබනලද, චීවරාදිය, එයින් මතු ඒ ඒ ප්‍ර‍ත්‍යයට නියම ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොට වළඳන්නහුගේ පරිභෝගය නිරවද්‍ය මැ පරිභෝගය යි. ලත් මොහොතෙහි ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කළ ද පරිභෝග කරන කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නහුගේ පරිභෝගය ද නිරවද්‍ය යි.

 

පරිභෝග කරන කල කරනු ලබන ප්‍ර‍ත්‍යවේක්‍ෂාව පිළිබඳ විනිශ්චය මෙසේ දත යුතු.

 

චතුර්විධ පරිභෝග

 

පරිභෝග වනාහි :-    1. ථෙය්‍යපරිභෝගය,        2. ඉණ පරිභෝගය,         3. දායජ්ජපරිභෝගය      4. සාමිපරිභෝගය යි චතුර්විධ වේ.

                                          

1.  ථෙය්‍යපරිභෝගය

 

දුශ්ශීලයා සඟ මැද හිඳැ ගෙනැ වළඳන්නේ නමුදු ඔහුගේ පරිභෝගය ථෙය්‍යපරිභෝග යි. (බුදුන් විසින් සිල්වත්නට අනුදත් බැවිනු දු දායකයනු දු “සිල්වත් හට දෙම්හ”යි දෙන බැවිනු දු සිල්වතුන් අයති පසය දුශ්ශීලයා සඟ මැදැ හිඳැ වළඳතු දු උහුගෙ පරිභෝගය ථෙය්‍යපරිභෝග නම්” යනු පරාක්‍ර‍මබාහු රාජ සන්නයි. (ථෙය්‍යපරිභෝග නම් හොරා කෑම ය)

 

2.  ඉණපරිභෝගය

 

තෙමේ ශීලවත් වුව ද ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කොටැ වළඳන්නේ නම් ඔහුගේ පරිභොග ඉණපරිභොගයි. (ඉණපරිභෝග නම් ණය කෑම ය.) එබැවින් සිවුරු (කයෙන් පහකොටැ හඳනා පොරෝනා සියලු විටෙක මැ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. දානය වළඳන විට පිඬක් පිඬක් පාසා ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. එසේ නො කී නම් පෙරවරු, පස්වරු, පෙරයම, මැදියම, පසුයම ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. ඉදින් එසේ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කැරැ නො ගෙනැ සිටියදී මැ අරුණු නැගේ නම් ඉණපරිභෝගයට අසුවුණේ වේ. සේනාසන ද පරිභෝග කරන - කරන විටෙක මැ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. බෙහෙත් වනාහි පිළිගන්නා කල්හි දු පරිභෝග කරන කල්හි දු ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. පිළිගන්නා කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ ද ඉදින් පරිභෝග කරන කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කෙළේ නම් ආපත්ති වේ. පිළිගන්නා කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කළ ද පරිභෝග කාලයෙහි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙළේ නම් ඇවැත් නො වේ. (මෙහි ලා සතර වැදෑරුම් සුද්‍ධිය දත යුතු)

 

චතුර්විධ ශුද්‍ධිය

 

1.  දේශනා සුද්ධිය          2. සංවර සුද්ධිය

3.  පරියෙට්ඨි සුද්ධිය       4. පච්චවෙක්ඛන සුද්ධියය යි

සුද්‍ධි සතර වැදෑරුම් වේ.

 

1.  ඇවැත් දෙසා ගැනීමෙන් පිරිසිදු වන බැවින් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය දේශනා ශුද්ධිය යි කියනු ලැබේ. (පචිති ආදිය ඇවැත් දෙසීම් මාත්‍රයෙන් ද සංඝාදිසේස සඟ මැද දෙසා පරිවාස, මානත්, අබ්හාන ගැනීමෙන් ද පිරිසිදු වේ. පාරාජිකාපත්ති මේ කවරකිනුදු පිරිසිදු නො වේ.

 

2. (හදිසියේ ඉඳුරන් බිඳුණු කල) නැවැත මෙබන්දක් නො කරමැයි චිත්තාධිෂ්ඨාන සංවරයෙන් පිරිසිදු වන බැවින් ඉන්‍ද්‍රියසංවර ශීලය සංවර සුද්ධිය යි කියනු ලැබේ.

 

3. එක්විසි අන්වේෂණයෙන් තොර වැ දැහැමින් සෙමෙන් ප්‍ර‍ත්‍යය උපදවන්නහුගේ ආජීවය පර්යේෂණ විධියෙන් ශුද්ධ වන බැවින් ආජීවපාරිසුද්ධි සීලය පරියෙඨිසුද්ධිය යි කියනු ලැබේ. (පරියෙට්ඨි නම් සෙවීම්, සෙවීමෙන් ලැබෙන සුද්ධි පරියෙට්ඨි සුද්ධි)

 

4. යට දැක්වුණු ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධියෙන් ශුද්ධ වන බැවින් ප්‍ර‍ත්‍යයසන්නිඃශ්‍රිත ශීලය පච්චවෙක්ඛන සුද්ධි යයි කියනු ලැබේ.

 

      “පිළිගන්නා කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කළ ද පරිභෝග කාලයෙහි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙළේ නම් ඇවැත් නො වේ” යයි කියන ලද්දේ මේ නිසා ය.

 

3.  දායජ්ජපරිභෝගය

 

සප්ත ශෛක්‍ෂයන්ගේ සිව්පස පරිභෝගය දායජ්ජපරිභෝගය යි. සප්ත ශෛක්‍ෂයෝ වනාහි බුදුන්ගේ පුත්‍රයෝ ය. ඔව්හු බුදුපියාණන් සතු වූ සිව්පසයට දායාදයෝ වැ වළඳන්නෝ ය. මෙහි ඇසිය යුත්තෙක් ඇති. ඔවුන් වළඳනු ලබන්නේ බුදුන්ගේ සිව්පසය ද ගිහින්ගේ සිව්පසය ද; ගිහින්ගේ සිව්පසය වුව ද ඔවුනට බුදුන් විසින් අනුදත් බැවින් එය බුදුන් සතු මැ ය. එබැවින් බුදුන්ගේ සිව්පසය වළඳනු ලැබේ ය යි කියයුතු. “ධම්මදායාදා මෙ භික්ඛවෙ භවථ මා ආමිසදායාදා”[129] “මහණෙනි! මගේ ධර්‍මයට දායාදයෝ වව්. ආමිසයට දායාදයෝ නො වව්” යනාදින් වදාළ ධම්මදායාද සූත්‍ර‍ය මීට සාධක වේ.

 

4.  සාමිපරිභෝගය

 

රහතන්ගේ සිව්පස පරිභෝගය සාමිපරිභෝගය යි. රහත්හු වනාහි තෘෂ්ණාවට දාස වන ස්වභාවය ඉක්මවූවෝ ය. එබැවින් උන්වහන්සේලා සිව්පසයට ස්වාමියෝ ය. (“අචීතරාගයන්ට වානහි තෘෂ්ණා පරවශ බැවින් ප්‍ර‍ත්‍යය පරිභෝගයෙහි ස්වාමි බවෙක් නැති. චීතරාගයන්ට එහි ස්වාමිභාවය රුචි වූ පරිද්දෙන් ප්‍ර‍ත්‍යය පරිභෝග සද්භාවයෙනැ යි දත යුතු. එහෙයින් මැ ඔහු ප්‍ර‍තිකුලය අප්‍ර‍තිකූලාකාරයෙන් ද, අප්‍ර‍තිකුලය ප්‍ර‍තිකූලාකාරයෙන් ද, එමැ දෙක හැර උපේක්‍ෂාකාරයෙනු දු ප්‍ර‍ත්‍යය පරිභෝග කෙරෙත්නු යි දත යුතු” යනු පරාක්‍ර‍මබාහු සන්න යි.)

 

මේ දැක්වුණු චතුර්විධ පරිභෝගයන් අතුරෙන් සාමිපරිභෝගය හා දායජ්ජපරිභෝගය සියල්ලන්ට මැ වටනේ ය. ඉණපරිභොගය කිසිවෙකුට ද නොවටනේ ය. ථෙය්‍යපරිභොගය ගැනැ කියනු කිම?

 

ඉදින් පෘථග්ජන සීලවන්තයෙක් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොටැ සිව්පස පරිභෝග කෙරේ නම්, ඔහුගේ පරිභෝගය කවර පරිභෝගයෙක් ද, එය ඉණ පරිභෝගයට ප්‍ර‍තිපක්‍ෂ බැවින් ආනණය පරිභෝගය වේ. එබඳු සීලව්නතයා ශෛක්‍ෂ සඞ්ඛ්‍යායෙහි ඇතුළත් වන බැවින් දායජ්ජ පරිභෝගය හෝ වේ හෙද වනාහි “මේ ශික්‍ෂායෙන් යුක්ත හෙයින් ශෛක්‍ෂය”යි කිය යුතු.

 

මේ චතුර්විධ පරිභෝගයන් අතුරෙන් සාමිපරිභෝගය මැ අග්‍ර‍ ය. එබැවින් ඒ සාමිපරිභෝගය ප්‍රාර්‍ථනා කරන භික්‍ෂු විසින් යට දැක්වුණු ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධියෙන් පස්විකා වළඳමින් පච්චය සන්නිස්සිත සීලය සම්පාදනය කළ යුතු. එසේ කරනුයේ මැ කෘත්‍යකාරි වන්නේ යි.

 

වදාළේ මැ යි.

“පිණ්ඩං විහාරං සයනාසනඤ්ච

ආපඤ්ච සංඝාටිරජූපවාහනං,

සුත්‍වාන ධම්මං සුගතෙන දෙසිතං

සඞ්ඛාය සෙවෙ වරපඤ්ඤසාවකො”[130]

“බුද්‍ධශ්‍රාවක වූ භික්‍ෂු තෙමේ ඒ බුදුන් විසින් වදාළ “පටිසංඛායොනිසො චිවරං පටිසෙවෙති” යනාදි ධර්‍මය අසා පිණ්ඩපාතය ද, විහාර, සේනාසන, හා සිවුරු රජස් දුරු කරන ජලය ද “යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය” යනාදීන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොට පරිභෝග කරන්නේ ය. (මෙ ගාථායෙහි සිව්පසය මැ ඇතුළත් ය. ‘සංඝාටි’ යන්නෙන් චීවර ද, ‘පිණ්ඩ’ යන්නෙන් පිණ්ඩපාත ද, ‘විහාරසෙනාසන’ යන්නෙන් ‘ආප’ යන්නෙන් ගිලානපච්චය ද යූ බැවිනි.

 

තස්මාහි පිණ්ඩෙ සයනාසනෙ ච

ආපෙච සංඝාටිරජූපවාහනෙ,

එතෙසු ධම්මෙසු අනූපලිත්තො

භික්ඛු යථා පොක්ඛරෙ වාරිබින්‍දු.”[131]

‘යම් හෙයකින් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොටැ පරිභෝග කරන්නේ ද එහෙයින් ඒ භික්‍ෂු පිණ්ඩපාත, සයනාසන, චීවර, රජස් දුරු කරන ජල යන මේ සිව්පසයෙහි පියුම් පතෙහි දිය බින්දු මෙන් නො ඇලෙන්නේ ය.

 

‘කාලෙන ලදධා පරතො අනුග්ගහා

ඛජ්ජෙසු භොජ්ජෙසු ච සායනෙසු,

මත්තං ස ඡඤ්ඤා සතතං උපට්ඨිතො

වණස්ස ආලෙපන රූහණෙ යථා”[132]

‘සුදුසු කාලයෙහි මෙරමාගෙන් අනුග්‍ර‍හයෙන් ලත් ඛාද්‍ය භෝජ්‍යයෙහි හා පැණි ආදි සායනීයයෙහි නිතර එළඹ සිටි සිහි ඇති ඒ භික්‍ෂු තෙමේ වණයට බෙහෙත් එලීමෙහි මෙන් පමණ දන්නේ ය.’ (යම් සේ ව්‍ර‍ණයෙහි බෙහෙත් එලන්නේ පමණ දැන එලා ද එසේ ආහාරය ද පමණ දැනැ වළඳන්නේ ය යූ සේයි.)

 

‘කන්තාරෙ පුත්තමංසංව - අක්ඛස්සබ්භඤ්ජනං යථා,

එවං ආහරි ආහාරං - යාපනත්‍ථාය‘මුච්ඡිතො’[133]

කාන්තාරයෙහි පුත්‍ර‍ මාංශ සේ, අකුරෙහි තෙල් ලීම සේ තෘෂ්ණායෙන් අමුර්ඡිත වැ යැපෙන පමණට අහර ගන්නේ ය.

 

මේ ප්‍ර‍ත්‍යය සන්නිඃශ්‍රිත ශීලය පරිපූර්‍ණ කළ බැව්හි භාගිනෙය්‍ය සඞ්ඝරක්ඛිත සාමණෙරයන් වහන්සේගේ කථාව දැක්විය යුතු. උන්වහන්ස් මැනවින් පස්විකා වැළඳූ සේක. (උන්වහන්සේගේ උදාන ගාථාවන්ගෙන් එය දැක්ක හැකි ය. ඒ මෙසේ යි.)

 

“උපජ්ඣායො මං භුඤ්ජමානං - සාලිකුරං සුනිබ්බුතං

මා හෙව ත්‍වං සාමණෙර - ජිව්හං ඣාපෙසි අසඤ්ඤතො.

 

උපජ්ඣායස්ස වචො සුත්‍වා - සංවෙගමලභිං තදා,

එකාසනෙ නිසීදිත්‍වා - අරහත්තං අපාපුණිං

 

සොහං පරිපුණ්ණ සංකප්පො - චන්‍දො පණ්ණරසී යථා,

සබ්බාසව පරරික්ඛීණො - නත්‍ථි දානි පුනබ්භවො.”

‘එක් දවසෙක්හි මගේ උපාධ්‍යායයන් වහන්සේ ඉතා නිවුණු හැල්සාලේ බත් වළඳන මා අමතා, “සාමණෙරය! අසංයත වැ වළඳා දිව පුළු්සා නො ගනු”යි කී සේක.

 

එදා මම උපාධ්‍යායයන් වහන්සේගේ වචනය අසා සංවෙගයට පැමිණියෙමි. කෙතෙක් සංවෙගයට පැමිණියෙම් ද, ඒ ආසනයෙහි මැ හිඳ විවසුන් වඩා රහත් වීමි.

 

ඒ මම පුනුරැස් සඳ සේ පරිපූර්‍ණ මනොරථ ඇත්තෙමි. මගේ සියලු ආශ්‍ර‍ව ක්‍ෂය විණි. දැන් මට පුනරුත්පත්ති නැත.

 

“සෙසු මහණ ද මෙලෙස - බවදුක් දුරු කටැටියේ,

නුවණින් පස්විකා - සතරපස වළඳන්නේ”[134]

 

ප්‍ර‍ත්‍යය සන්නිඃශ්‍රිත ශීලය සම්පාදනය කළ යුතු විධියයි.

 

සතර සංවර ශීල විස්තරය නිමියේ ය.

 

චතුර්විධ ශීල විභාගය යි.

 

 

පඤ්චවිධ සීල පිළිබඳ ප්‍ර‍ථම පඤ්චකයෙහි අර්‍ථ අනුපසම්පන්න සීලාදි වශයෙන් දත යුතු.

 

 

ප්‍ර‍ථම පඤචකය

 

1.  පරියන්ත පාරිසුද්ධි    2. අපරීයන්ත පාරිසුද්ධි   3. පරිපූණ්ණ පාරිසුද්ධි,

4.  අපරාමට්ඨ පාරිසුද්ධි 5. පටිප්පස්සද්‍ධි පාරිසුද්ධි සීල.

 

1. අනුපසම්පන්නයන්ගේ සීල ගණන් වශයෙන් මෙතෙකැ යි කෙළවර සහිත බැවින් පරියන්ත පාරිසුද්ධි සීල නම් වේ. වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි “කතමං රියන්ත පාරිසුද්‍ධි සීලං? අනුපසම්පත්තානං පරියන්ත සික්ඛාපදානං ඉදං පරියන්ත පාරිසුද්‍ධි සීලං”[135] පරියන්ත පාරිසුද්‍ධි සීලය කවරේ ද අනුපසම්පන්නයන්ගේ - සීමාසහිත ශික්‍ෂාපද ඇතියවුන්ගේ යම් ශීලයෙක් වේ ද, එය පරියන්ත පාරිසුද්‍ධි සීල නම් වේ, යනු භාවයි.

 

2. උපසම්පන්නයන්ගේ ශීල මෙතෙකැ යි කෙළවරක් නැති බැවින් අපරීයන්ත පාරිසුද්ධි සීල නම් වේ.

 

වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි “කතමං අපරියන්ත පාරිසුද්ධිසීලං? උපසම්පන්නානං අපරියන්ත සික්ඛාපදානං ඉදං පටිසම්භිදායෙහි අපරීයන්ත පාරිසුද්ධි සීලං[136] යි. ‘අපරීයන්ත පාරිසුද්ධි සීලය කවරේ ද උපසම්පන්නයන්ගේ - සීමාසහිත ශික්‍ෂාපද ඇතියවුන්ගේ යම් ශීලයෙක් වේ ද, එය අපරියන්ත පාරිසුද්ධි සීල නම් වේ, යනු භාවයි.

 

මෙහි ඇසිය යුත්තෙක් ඇති.

 

“නවකොටි සහස්සානි-අසීතිං සතකොටියො

පඤ්ඤාසං සතසහස්සානි-ජත්තිංසා ච පුනාපරෙ

එතෙ සංවරවිනයා- සම්බුද්ධන පකාසිතා

පෙය්‍යාලමුඛෙන නිද්දිට්ඨා-සික්ඛා විනයසංවරෙ”[137]

 

යනු කී හෙයින් උපසම්පන්න සීල මෙතෙකැ යි පර්‍ය්‍යන්ත සහිත නො වේ ද කුමක් හෙයින් අපරියන්තය යි මෙහි දක්වන ලද්දේ ද ගණන් වශයෙන් එසේ පර්‍ය්‍යයන්ත සහිත වුව ද, නිරවශේෂ වශයෙන් සමාදන් වන බව හා ලාභ, යස, ඤති, අඞ්ග, ජීවිත වශයෙන් පර්‍ය්‍යන්ත රහිත බව ද සඳහා එසේ අපරියන්ත පාරිසුද්ධි යි කී නිසා දත යුතු.

 

(නව කෙළ දහස් එකසිය අසූ කෝටි පනස් ලක්‍ෂ සතායෙක් විනය පිටකයෙහි විස්තර වශයෙන් දක්වන ලද සංවර විනය සංඛ්‍යාත ශික්‍ෂාවෝ බුදුන් වහන්සේ විසින් වදාරන ලදහ යනු ගාථාවන්හි භාවයයි.)

 

මේ අපරියන්ත පාරිසුද්ධි සීලයට චීවරගුම්බකවාසි අම්බඛාදක මහාතිස්ස තෙරුන්ගේ ශීලය සාධක කළ යුතු. උන්වහන්සේ:-

 

“ධනං චජෙ යො පන අඞ්ගහෙතු

අඞ්ගං චජෙ ජීවිතං රක්ඛමානො

අඞ්ගං ධනං ජීවිතං චාපි සබ්බං

චජෙ නරො ධම්ම මනුස්සරන්නො”

 

යන මහාපුරුෂ චින්තාව සිහිකරමින් ජීවිතශංසයෙහි දු ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය නො කොටැ ඒ අපරියන්ත පාරිසුද්ධි සීලය මැ නිසා උපාසකයෙකුගේ පිට උඩ නංවා ගෙන යනු ලබන සේක රහත් බවට පැමිණිය හ.

 

(හස්තපාදාදි ශරීරාඞ්ග හේතුයෙන් ධනය දෙන්නේ ය. ජීවිතය රක්නේ ශරීරාඞ්ග දෙන්නේ ය. ධර්‍මය සිහිකරන්නේ අඞ්ග ධන ජීවිත යන සියල්ල දෙන්නේ ය යනු ගාථාවේ භාවය යි.)

 

අම්බඛාදක මහාතිස්ස තෙරුන්වහන්සේ

 

ලක්දිව චීවර ගුම්බකවාසී අම්බඛාදක මහාතිස්ස නම් ස්ථවිර කෙනෙක් වූහ. උන්වහන්සේ එක් දුර්භික්‍ෂ කාලයෙක දිර්‍ඝ මාර්‍ගයක වඩනා සේක් පිඬු පිණිස එක් ගමකට පිවිසි සේක. එහි දී උන්වහන්සේට භික්‍ෂාව නො ලැබුණේ ය. ක්ලාන්ත වූ උන්වහන්සේ ඵලිත වූ එක් අඹ ගසක් යට සිහිල් සෙවනේ වැතිරි හොත් සේක. වැටී තැබු අඹ පිළිගන්නට කෙනෙක් නො වූ හෙයින් වළඳන්නට අවකාශ නැත. නො පිළිගත් දේ වැළඳීම ආපත්තිකර බැවිනි.

 

මේ වේලාවෙහි එක් උපාසකයෙකේ එහි පැමිණැ එසේ ක්ලාන්ත වැ වැටී තෙරුන්වහන්සේ දැකැ අඹ පැන් මිරිකා පෙවූයේ ය. එයිනු දු උන්වහන්සේ සුවපත් නො වූහ. ඉක්බිති උපාසකයාණෝ උන්වහන්සේ පිට උඩ නංවාගෙන සිය ගමට ගෙනැ ගියහ. අතරමඟ දී උන්වහන්සේ සිහිසන් ලැබැ තමහට මැ අවවාද දෙන සේක්.

 

“න පිතා නපි තෙ මාතා - න ඤාති නපි බන්‍ධවො,

කරොතෙ තාදිසං කිච්චං - සීලවන්තස්ස කාරණං.”

 

‘මේ තගේ පියා ද නො වේ. මව් ද නො වේ. නෑ ද නො වේ. බන්‍ධු ද නො වේ. සීලවත් බව හේතු කොට ගෙන මැ මේසා කෘත්‍යයක් කෙරේ’ යයි සිතා එහි මැ යමින් විදර්‍ශන වඩා රහත් වූහ.

 

කියන ලද මැ යි.

 

“සංවෙගං ජනයිත්‍වාන-සම්මසීත්‍වාන යොනිසො,

තස්ස පිට්ඨිගතො සන්තො- අරහත්තං අපාපුණි.”

‘සංවේග උපදවා නුවණින් සන්මර්‍ශනය කොටැ ඔහුගේ පිට උඩ යන්නේ මැ රහත් බවට පැමිණියේ ය, යනු භාවයි.

 

3. කල්‍යාණ පෘථග්ජනයන්ගේ යම් ශීලයෙක් ඔප් නැඟු දෑ රඟ මිණි රුවනක් මෙන්, මනා වැ පිරියම් කළ ස්වණියක් මෙන් උපසම්පදායෙහි පටන් ඉතා පිරිසිදු ද, අකුසලයක් කරනු තබා සිතනු පමණ මලයකිනුදු විරහිත ද, රහත් බවට මැ කාරණ වේ ද ඒ එබඳු ශීලය පරිපුණ්ණාපාරිසුද්ධි සීලය යි කියනු ලැබේ.

 

වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි- “කතමං පරිපුණ්ණ පාරිසුද්ධිසීලං? පුථුජ්ජන කල්‍යාණකානං කුසලධම්ම යුත්තානං සෙක්ඛ පරියන්තෙ පරිපූර කාරීනං කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛානං පරිච්චත්ත-ජීවිතානං ඉදං පරීපුණ්ණා පාරිසුද්ධි සිලං[138] පරීපුණ්ණ පාරිසුද්ධි සීලය කවරේ ද කල්‍යාණ පෘථග්ජන-යන්ගේ විදර්‍ශනාචාරයෙහි යෙදී ගත් - සෙඛපරියන්තයෙහි පරිපූරකාරී විශේෂාධිගමයෙහි විනා කාය ජීවිත දෙක්හි අපේක්‍ෂා අහිත- ඒ පිණිස මැ හළ ජීවිත අතියවුන්ගේ යම් ශීලයෙක් වේද එය පරිණ්ණාපාරිසුද්ධි සීල නම් වේ, යනු භාව යි. (“නාමරූප පරිච්ඡේදයෙහි පටන් කුශල ධර්‍ම සමාදානයෙහි හෝ පටන් ගෝත්‍ර‍භුව දක්වා ප්‍ර‍වෘත්ත කුශල ධර්‍ම ප්‍ර‍බන්‍ධය ශෛක්‍ෂධර්‍මයෙහි පැහැරැ සිටි හෙයින් සේඛපරියන්ත නමි නොහොත් ශෛක්‍ෂ ධර්‍මයන් පශ්චිමානත කොටැ ඇති වූ ශෛක්‍ෂකල්ප වූ ලෞකික ත්‍රිවිධ ශික්‍ෂාවෝ සේඛපරියන්ත නම් වෙත්” යනු පැරකුම්බා සන්න යි.)

 

මහාසඞ්ඝ රක්ඛිත, භාගිනෙය්‍ය සඞ්ඝරක්ඛිත තෙරවරුන්ගේ සීල මෙහි ලා සාධක කළ යුතුයි.

 

මහාසඞ්ඝරක්ඛිත තෙරුන්වහන්සේ

 

සැටවස් ඉක් මැ ගිය මහාසඞ්ඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේ අවසාන කාලයෙහි මරණ මඤ්චකයෙහි හොත් සේක. භික්‍ෂු සඞ්ඝයා “ඔබ වහන්සේ අධිගත ලොකොත්තර ධර්‍ම ඇති සේක් දැ” යි උන්වහන්සේ විචාළහ. “මට ලොකොත්තර ධර්‍ම නැතැ”යි උන්වහන්සේ පිළිතුරු දුන් සේක. ඒ ඇසු උන්වහන්සේගේ උපස්ථායක ළදරු භික්‍ෂු කියන්නේ, ‘ස්වාමීනි නුඹවහන්සේ පිරිනිව් සේකැ’යි හාත්පස දොලොස් යොත්තක මහජනයා රැස්වූ හ. නුඹවහන්සේ ගේ පෘථග්ජන කාලක්‍රියායෙන් මහත් විපිළිසරයෙක් වන්නේ ය”යි කීයේ ය. “ඇවැත්නි මම මෙතේ බුදුන් දැක්කැටියේ විදර්‍ශනා නො වැඩුයෙමි. එසේ නම් මා වඩා හිඳුවා අවකාශයක් දෙව්” යයි උන්වහන්සේ කී සේක. උපස්ථායක භික්‍ෂු උන්වහන්සේ වඩා හිඳුවා පිටත නික්මුණේ ය. නික්මෙන්නා මැ තෙරුන්වහන්සේ රහත් බවට පැමිණ අසුරු ගැසීමෙන් සං:ා කළ සේක. සඞ්ඝයා එහි රැස් වැ “ස්වාමීනි මේ සා මරණ මොහොතෙහි ලෝකෝත්තර ගුණ ඉපදවීමෙහි ඔබ වහන්සේ දුෂ්කරයක් කළ සේකැ”යි කීහ. “ඇවැත්නි දුෂ්කර නම් මා මේ ඇසිල්ලෙහි රහත් වීම නො වේ. මම තොපට මා කළ දුෂ්කරය කියන්නෙමි. ඇවැත්නි මම පැවිදි වූ කාලයෙහි පටන් මතක නැති වැ- නො දැනැ කළ දෙයක් සිහි නොකරමි. දුෂ්කර නම් ඒය”යි කී සේක.

 

භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන්වහන්සේ

 

උන්වහන්සේගේ බෑණුණු වූ සංඝරක්ඛිත තෙරුන් වහන්සේ ද පණස් වස් කාලයෙහි එසේ මැ රහත් වූහු.

 

“අප්පස්සුතොපි චෙ හොති-සීලෙසු අසමාහිතො

උභයෙන නං ගරහන්ති-සිලතො ච සුතෙන ච.”[139]

 

‘යමෙක් ඉදින් අල්පශ්‍රැත ද- හෙවත් උගත් ධර්‍ම නැත්තේ ද, ශීලයෙහි දු මනා කොටැ නො පිහිටියේ ද ඔහුට ශීලයෙන් ද, ශ්‍රැතයෙන් ද යන දෙකින් මැ විඥයෝ ගර්‍හා කෙරෙත්;

 

“අප්පස්සු තොපි චෙ හොති - සීලෙසු සුසමාහිතො

සීලතො නං පසංසන්ති - නාස්ස සම්පජ්ජතෙ සුතං

 

‘ඉදින් යමෙක් අල්පශ්‍රැත ද, ශීලයෙහි මනා වැ පිහිටියේ ද විඥයෝ ඔහුට ශීලයෙන් පසසත්. ශ්‍රැතයෙන් ඔහුට ප්‍ර‍ශංසාවෙක් නැත්.

 

“බහුස්සසුතොපි චෙ හොති-සීලෙසු අසමාහිතො;

සීලතො නං ගරහනම් -නාස්ස සම්පජ්ජතෙ සුතං”[140]

 

‘ඉදින් යමෙක් බහුශ්‍රැත ද, හෙවත් ඇසූ පිරූ බොහෝ ධර්‍ම ඇත්තේ ද, සීලයෙහි මනා වැ නො පිහිටියේ ද ඔහුට විඥයෝ ශීලයෙන් ගරහත්. ඔහුගේ ශ්‍රැතය ද තමහට හෝ අන්‍යයන්ට හෝ සැප නො එළවයි.

 

“බහුපස්සුතොපි චෙ හොති-සීලෙසු සුසමාහිතො;

උභයෙන නං පසංසන්ති - සීලතො ච සුතෙනව”

 

‘ඉදින් යමෙක් බහුශ්‍රැත ද, ශීලයෙහි දු මනා වැ පිහිටියේ ද ඔහුට විඥයෝ ශීලයෙන් ද, ශ්‍රැතයෙන් ද යන දෙකින් මැ පසසිත්.

 

බහුස්සුතං ධම්මධරං - සප්පඤ්ඤං බුද්ධසාවකං

නෙක්ඛං ජම්බොනදස්සෙව- කො තං නින්‍දිතුමරහති

දෙවාපි නං පසංසන්තී-බ්‍ර‍හ්මුනා පි පසංසිතො.[141]

 

බහුශ්‍රැත වූ ධර්‍මධර වූ ප්‍ර‍ඥාසම්පන්න ඒ බුද්ධ ශ්‍රාවකයාට ජාම්බොනද නම් රන් නිකකට මෙන් කවරෙක් නින්දා කරන්නට සමර්‍ථ ද, දෙවියෝ ද ඔහුට ප්‍ර‍සංසා කරති. හෙතෙමේ බ්‍ර‍හ්මයා විසිනුදු පසස්නා ලද්දේ වෙයි.

 

4. ශෛක්‍ෂයන්ගේ ශීලය දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කරන ලද බැවින් අපරාමට්ඨ පාරිසුද්ධිසීලය යි කියනු ලැබේ.

 

පටිසම්භිදායෙහි:- “කතමං අපරාමට්ඨ පාරිසුද්ධිසීලං? සෙත්තන්තං සෙකඛානං ඉදං අපරාමට්ඨ පාරිසුද්ධිසීලං[142] අපරාමට්ඨ පාරිසුද්ධි සීලය කවරේ ද සප්තශෛක්‍ෂයන්ගේ යම් ශීලයෙක් වේ ද එය අපරාමට්ඨ පාරිසුද්ධි සීල නම් වේ ය”යි කීහ.

 

පුථුජ්ජනයන්ගේ හෝ භව වශයෙන් අපරාමට්ඨ සීලය අපරාමට්ඨ පාරිසුද්ධි සීලය යි දත යුතුයි.

 

කුටුම්භිය පුත්තතිස්ස තෙරුන්ගේ සීලය මෙනි.

 

කුටුම්බිය පුත්තතිස්ස තෙරුන්වහන්සේ

 

සැවැත් නුවර තිසස් නම් කෙළෙඹි පුත්‍රයෙක් සතළිස් කෙළක් ධනය හැරැ පියා පැවිදි වැ අරණ්‍යයෙහි විසී ය. උන්වහන්සේගේ සහෝදරයාගේ භාර්‍ය්‍යාව උන්වහන්සේ මරනු සඳහා සොරුන් මෙහෙයුවා ය. සොරු ගොස් උන්වහන්සේ පිරිවරා ගත්හ. “තෙපි කුමට අවුදැ”යි විචාරා “නුඹ වහන්සේ මරනු සඳහාය”යි කී කල්හි “කුමක් පිණිස දැ”යි අසා “ධනය සඳහාය”යි කී කල්හි “ඇපයක් ගෙන අද එක රැයට මා නොමරා හරනු හැකි දැ”යි ඇසූ සේක. “නුඹ වහන්සේට මෙහි ඇපවන්නේ කවරෙක් දැ”යි ඔව්හු කීවේය. තෙරුන්වහන්සේ මහත් ගලක් ගෙන තමන්වහන්සේගේ ඌරු ඇට බිඳැ ගෙනැ “මේ ඇපය මඳ දැ”යි විචාළ සේක. සොරු නිසැක වැ සක්මන් කෙළවර ගිනිමැල ගසාගෙන හොත්හ. තෙරුන්වහන්සේ ඉවසීමෙන් වේදනාව මැඩැ පවත්වා ස්වකීය පරිශුද්ධි ශීලය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන සේක් ප්‍රීති ප්‍රමෝද්‍යය උපදවා විදර්‍ශනා වඩා අරුනොද්ගමයෙහි රහත් බවට පැමිණි සේක. එබඳු ශීලය නිසා රහත් බවට පැමිණෙන්නට කැමැති සේක් තමා මරනු සඳහා පැමිණි චෛරීන්ට මෙසේ කී සේක.

 

“උභො පාදානි බින්‍දිත්‍වා - සංයමිස්සාමි වො අහං,

අට්ටියාමි හරායාමි - සරාගමරණං අහං”

 

“මම දෙපා බිඳැ ගෙනැ මඳ කලක් මා හරින්නට ගිවිස්වමි. මම මගේ සරාගමරණයට පිළිකුල් කරමි’ ලජ්ජා කරමි” යනු ගාථාවේ භාවයයි.

 

තවද එක්තරා මහතෙර කෙනෙක් ඉතා ගිලන් වැ සියතින් අහර වළඳන්නට පවා අසමර්‍ථ වැ සිය මලමූයෙහි මැ ඔබ මොබ පෙරලෙන්නේ ය. ඒ දුටු ළදරු භික්‍ෂු නමෙක් “ඛේදයෙකි! ජීවිතසංස්කාර දුක්ය”යි කීහ. එවිට මහතෙරුන් වහන්සේ ඇවැත්නි! මම දැන් මැරෙන්නෙම් ස්වර්‍ග සැප ලබමි’ මට එහි සැකයෙක් නැත. එතකුදු වුවත් මේ ශීලය බිඳැ ගෙන ලබන සැප නම් ශික්‍ෂා ප්‍ර‍ත්‍යාඛ්‍යෘනය කොටැ ලබන ගිහි බව බඳුය”යි කියා “ශීලය සමග මැ මැරෙන්නෙමි”යි එහි මැ හොත් සේක් ඒ රෝගය මැ සමමර්‍ශනය කරමින් රහත් බවට පැමිණැ මෙසේ ප්‍ර‍කාශ කළ සේක.

 

“ඵුට්ඨස්ස මේ අඤ්ඤතරෙන ව්‍යාධිනා

රොගෙන බාළහං දුඛිතස්ස රුප්පතො,

පරිසුස්සති ඛිප්පමිදං කලෙබරං

පුප්ඵං යථා පංසුනි ආතපෙ කතං

 

අජඤ්ඤං ජඤ්ඤසංඛාතං - අසුචිං සුචිසම්මතං

නානාකුණප පරිපූරං - ජඤ්ඤරූපං අපස්සතො.

 

ධීරත්‍ථු මං ආතුරං පූතිකායං

දුග්ගන්‍ධියං අසූචිං ව්‍යාධි ධම්මං,

යත්‍ථප්පමත්තා අධිමුච්ඡිතා පජා

හාපෙන්ති මග්ගං සුගතූපපත්තියා”

 

‘එක්තරා ව්‍යාධියෙකින් වැටුණු වේදනාව කරණ කොටැ අතිශයින් දුඃඛිත වූ විකාරයට පත් මාගේ මේ ශරීරය හිරුරැසින් තැවුණු - පස්හි මලක් මෙන් හාත්පසින් වියලෙන්නේ ය.

 

අමනෝඥ වූ අඥ නයන් විසින් මනෝඥය යි ගන්නා ලද, අපිරිසිදු වූ පිරිසිදුයයි සම්මත නොයෙක් කුණපයෙන් පිරුණු, නුවණැසින් නොබලන්නා හට මනෝඥ රූපයක් සේ වැටහෙන -

 

ආතුර වූ, දුර්‍ගන්‍ධ වූ, අසුචි වූ, ව්‍යාධි ස්වභාව වූ මේ පූතිකායට නින්‍දා වේවා. (තවත් කෙබඳු වූ පූතිකායකට ද යත්?) යම් පූතිකායයෙක්හි රාග වශයෙන් ප්‍ර‍මාදයට පැමිණි විශේෂයෙන් මුසපත් වූ, සත්‍වයෝ ස්වර්ගෝත්පත්තියට හේතු වූ මාර්‍ගය, (ශීලය) පිරිහෙළා ගනිත් ද, එබඳු පූතිකායට නින්‍දා වේවා” යනු ගාථාවන්ගේ භාවයයි.

 

5. රහතන්ගේ පසේබුදුන්ගේ සම්මාසම්බුදුන්ගේ ශීලය සියලු කෙලෙස් විඩා  සංසිඳීමෙන් පිරිසිදු වන බැවින් පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලය යි කියනු ලැබේ.

 

වදාළේ මැයි :- පටිසම්භිදායෙහි : කතමං පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලං? තථාගතසාවකානං ඛීණාසවානං පච්චෙකබුද්ධානං තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං ඉදං පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලං”[143] යි අර්‍ථ සුගම යි.

 

ප්‍ර‍ථම පඤ්චකය නිමියේ ය.

 

ද්විතිය පඤ්චකය

 

1.  පහාණ  2. වෙරමණී,  3. චෙතනා,  4. සංවර,  5. අවීතික්කම සීල

 

1. “හිරි ඔත්තප්ප කරුණා අලොභාදී ප්‍ර‍ධාන වූ යම් කුශල චිත්තොත්පාදයෙකින් ප්‍රාණඝාත ප්‍ර‍හාණය කරනු ලැබේ ද ඒ ප්‍රාණඝාත ප්‍ර‍හාණය ශීලනාර්ථයෙන් ප්‍රහාණ ශීල නම් වේ”‍ අදින්නාදානාදිය පිළිබඳ වැ ද මෙසේ ය. මෙහි වනාහි ප්‍ර‍හාණය යි ප්‍රාණඝාතාදිය නොකරැ හැරීම විනා (අමුතු) විශේෂ ධර්‍මයෙක් නැත. ප්‍රාණඝාතාදිය නො කැරැ හැරීම ඒ ඒ කුශල ධර්‍මයන්ට පිහිටවන අර්‍ථයෙන් උපධාරණ වෙයි. (ඒ එසේ මැ යි :- ප්‍රාණඝාත ප්‍ර‍හාණය මෛත්‍රී ආදි කුශල ධර්‍මයන්ට ප්‍ර‍තිෂ්ඨය. අදත්තාදාන ප්‍ර‍හාණය ත්‍යාගාදි කුශල ධර්‍මයන්ට ප්‍ර‍තිෂ්ඨායි) ප්‍රාණඝාතාදිය කිරීම චිත්තසන්තානයාගේ කම්පනයට හේතු වේ. ඒ නොකිරීම් එසේ චිත්තකම්පනය නොකරන හෙයින් සමාධාන නම් වෙයි. මෙසේ හෙයින් යට දැක්වුණු උපධාරණ - සමාධාන සංඛ්‍යාත ශීලනාර්‍ථයෙන් ප්‍ර‍හාණය ශීලය යි කියන ලද බැව් සැලකිය යුතුයි.

 

2.  එසේ මැ ප්‍රාණඝාතාදියෙන් වැළැක්ම වේරමණී සීල නම් වේ.

3.  ප්‍රාණඝාතාදියට ප්‍ර‍තිපක්‍ෂ වූ චේතනාව චේතනා සීල නම් වේ.

 

4.  ප්‍රාණඝාතාදියෙන් සංවර වීම - ප්‍රාණඝාතාදිය සිද්ධ විය හැකි මාර්‍ග වසාලීම සංවරසීල නම් වේ.

 

5. ප්‍රාණඝාතාදීන්ගේ අව්‍යතික්‍ර‍මණය - සමාදන් වැ ගත් ශික්‍ෂාපද බිඳැ නොලීම අවීතික්කම සීල නම් වේ. උපධාරණ සාමාධාන සංඛ්‍යාත ශීලනාර්‍ථයෙන් මේ විරමණ, චේතනා, සංවර, අවීතික්කම ද සීල වන සැටි යට කී නයෙන් දත යුතුයි.

 

මේ පහාණාදි පඤ්චවිධ සීලය පටිසම්භිදායෙහි[144] විස්තර කරන ලදී. එහි සංක්‍ෂිප්ත භාවය මෙසේ ය.

 

“පාණාතිපාත ප්‍ර‍හාණය පහාණ සීලය යි. පාණාතිපාත විරමණය වෙරමණී සීලය යි. පාණාතිපාතයට විරුද්‍ධ වූ චේතනාව චෙතනා සීලය යි. පාණාතිපාත සංචරණය සංවර සීලය යි. පාණාතිපාත අව්‍යතික්‍ර‍මය අවිතික්කම සීලය යි.

 

අදින්නාදාන, කාමමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාප, අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන මොවුන් පිළිබඳ පහාණ, විරමණ, චෙතනා, සංවර, අවීතික්කම පහාණාදි සීල යි.

 

නෙක්ඛම්මයෙන් කාමච්ඡන්‍දයාගේ ද, අව්‍යාපාදයෙන් ව්‍යාපාදයාගේ ද, ආලොකසඤ්ඤායෙන් ථීනමිද්‍ධයාගේ ද, අවික්ඛෙපයෙන් උද්ධච්චයාගේ ද, ධම්මවවත්‍ථානයෙන් විචිකිච්ඡාවෙගේ ද, ඤාණයෙන් අවිජ්ජාවගේ ද, පාමොජ්ජයෙන් අරතියෙගේ ද, ප්‍ර‍ථමධ්‍යානයෙන් නීවරණයන්ගේ ද, දුතියජ්ඣානයෙන් විතර්‍කවිචාරයන්ගේ ද, තතියජ්ඣානයෙන් ප්‍රීතියගේ ද, චතුත්‍ථජ්ඣානයෙන් සුඛදුක්ඛයන්ගේද, ආකාසානඤ්චායතන සමාපත්තියෙන් රූපසඤ්ඤා පටිඝසඤ්ඤා නනත්තසඤ්ඤාවන්ගේ ද, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතන සඤ්ඤාවගේ ද, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාවගේ ද, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවගේ ද, අනිච්චානුපස්සනායෙන් නිචච්සඤ්ඤාවගේ ද, දුක්ඛානු පස්සනායෙන් සුඛසඤ්ඤාවගේ ද, අනත්තානුපස්සනායෙන් අත්තසඤ්ඤාවගේ ද, නිබ්බිදානුපස්සනායෙන් නන්‍දියගේ ද, විරාගානුපස්සනායෙන් රාගයාගේ ද, නිරොධානු පස්සනායෙන් තෘෂ්ණාවගේ ද, පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදානයාගේ ද, ඛයානුපස්සනායෙන් ඝනසඤ්ඤාවගේ ද, වයානුපස්සනායෙන් ආයූහනයාගේ ද, විපරිනාමානුපස්සනායෙන් ධුවසඤ්ඤාවගේ ද, අනිමිත්තානුපස්සනායෙන් නිමිත්තයාගේ ද, අප්පණිහිතානුපස්සනායෙන් පණිධියගේ ද, සුඤ්ඤතානුපස්සනායෙන් අභිනිවේසයාගේ ද, අධිපඤ්ඤාධම්මවිපස්සනායෙන් සාරාදානාභිනිවේසයාගේද, යථාභුතඤාණ දස්සනයෙන් සම්මොහාභිනිවේසයාගේ ද, ආදීනවානු පස්සනායෙන් ආලයාභිනිවේසයාගේ ද, පටිසඞ්ඛාධම්මානුපස්සනායෙන් අප්පටිසඞ්ඛාවගේ ද, විවට්ටානුපස්සනායෙන් සංයොගාභි නිවේසයාගේ ද, සොතාපත්තිමග්ගයෙන් දෘෂ්ටිය හා සහජ වශයෙන් එක් වැ සිටි කෙලේශයන්ගේ ද, සකදාගාමිමග්ගයෙන් ඔලාරික කෙලේශයන්ගේ ද, අනාගාමි මාර්‍ගයෙන් අණුපහගත කෙලේශයන්ගේ ද, අර්‍හත් මාර්‍ගයෙන් සකල කෙලේශයන්ගේ ද ප්‍ර‍හාණය පහාණ සීලය යි. විරමණය වෙරමණි සීලය යි. චේතනා චෙතනා සීලය යි. සංවරණය සංවර සීලය යි. අව්‍යතික්‍ර‍මය අවිතික්කම සීලය යි.

 

මෙබඳු සිල් චිත්තයාගේ අවිප්පටිසාරය (විපිළිසර නො වන බව) පිණිස වන්නේ ය. අවිප්පටිසාරය ප්‍රමෝදය පිණිස වන්නේ ය. ප්‍රමෝදය ප්‍රිතිය පිණිස වන්නේ ය. ප්‍රීතිය පස්සද්‍ධිය (සංසිදීම) පිණිස වන්නේ ය. පස්සද්ධිය සොමනස්සය පිණිස වන්නේ ය. සොමනස්සය සමාධි ආසේවනය පිණිස-සමාධි වෘද්‍ධිය පිණිස-සමාධිා නැවත වැඩීම පිණිස-සද්ධින්‍ද්‍රියාදි නිෂ්පත්ති පිණිස-සමාධි පරිෂ්කාර පිණිස-සමාධි පරිවාර පිණිස-සමාධි පරිපූර්ණ පිණිස වන්නේ ය. එකාන්ත නිර්‍වෙදය පිණිස-විරාගය පිණිස-නිරෝධය පිණිස-ව්‍යාපසමය පිණිස-අභිඥා පිණිස-සම්බොධා පිණිස-නිර්‍වාණ පිණිස වන්නේ යි[145] (විස්තර කරත් හොත් ඉතා අධික හෙයින් සංක්‍ෂෙප කරන ලදී.)

 

ද්විතීය පඤ්චකය නිමියේ ය

 

සිල් නම් කිම? කවර අර්‍ථයෙකින් “සීල” යයි කියනු ලැබේ ද? සීලයාගේ ලක්ෂණ රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කවරහු ද? සීලයෙහි ආනිසංස කිම? ශීලය කීවැදෑරුම් ද? යන ප්‍ර‍ශ්න විසඳා නිම කරන ලද්දේ යි.

 

සීලය කිලිටි වන්නේ කෙසේ ද සීලය පිරිසිදු වන්නේ කෙසේ ද? යන ප්‍ර‍ශ්න දැන් විසඳනු ලැබේ.

 

ශීලය ඛණ්ඩවීමෙන්, ඡිද්‍ර‍ වීමෙන්, සබල වීමෙන්, කල්මාෂ වීමෙන් කිලිටි වේ. අඛණ්ඩ, අච්ඡිද්‍ර‍, අසබල, කල්මාෂයෙන් පිරිසිදු වේ.

 

ශීලය ඛණ්ඩ, ඡිද්‍ර‍, සබල, කල්මාෂ වන්නේ කවර හේතුවලින් ද ලාභ, යස, ඤාති, අඞ්ග, ජීවිත අපේක්ෂා කොට සීල සමාදානයෙන් හා සප්තවිධ මෛථුන සංයොගයෙන් ද යන මෙයිනි.

 

ඒ එසේ මැ යි:-

 

සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් යම් ආපත්තිස්කන්‍ධයෙක ආදියෙහි හෝ අන්තයෙහි හෝ ශික්‍ෂාපදයෙක් යමකු විසින් බිඳැපියන ලද්දේ ද, ඔහුගේ ශීලය කෙළවරර කැඩී ගිය වස්ත්‍ර‍යක් මෙන් වූයේ ඛණ්ඩශීල නම් වේ. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් යම් ආපත්තිස්කන්‍ධයෙක මධ්‍යයෙහි ශික්‍ෂාපදයෙක් යමකු විසින් බිඳැපියන ලද්දේ ද, ඔහුගේ ශීලය මැද සිදුරු වූ වස්ත්‍ර‍යක් මෙන් වූයේ ඡිද්‍ර‍ශීල නම් වේ. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් යම් ආපත්තිස්කන්‍ධයෙක පිළිවෙළින් ශික්‍ෂාපද දෙකක් තුනක් යමකු විසින් බිඳැපියන ලද්දේ ද, ඔහුගේ ශීලය පිට හෝ කුස හෝ නැඟි කලු රතු ආදි විසභාග වර්‍ණයෙන් යුත් (කබර) දෙනක මෙන් වූයේ සබල - (කබර) ශීල නම් වේ. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් යම් ආපත්තිස්කන්‍ධයෙක අතර අතර ශික්‍ෂාපද යමකු විසින් බිඳැපියන ලද්දේ ද, ඔහුගේ ශීලය අතර- අතර විසභාග පැහැ ඇති තිත් දෙනක් මන් වූයේ කල්මාෂ ශීල නම් වේ. මෙසේ ශීලය ඛණ්ඩාදි වන්නේ ලාභාදි හේතුයෙන් ගත් ශීලය ඒ ලාභාදිය ලත් කල බිඳැ ලීමෙනි. (සප්තාපත්තිස්කන්‍ධ නම් : පාරාජික, සඞ්ඝාදිසෙස, ථුල්ලච්චය, පාචිත්තිය, පාටිදෙසනීය, දුක්කට, දුබ්භාසිත යන මේ යි.)

 

සප්තවිධ මෛථුන සංයෝගයෙනුදු ශීලය ඛණ්ඩ, ඡිද්‍ර‍, සබල, කල්මාෂ වන බව යට කියන ලදි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර‍ය මෙසේ ය.

 

1. “ඉධ බ්‍රාහ්මණ එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා සම්මා බ්‍ර‍හ්මචාරී පටිඡානමානො නහෙව ඛො මාතු ගාමෙන සද්‍ධිං වයං වයසමාපත්තිං සමාපජ්ජති, අපිච ඛො මාතුගාමස්ස උච්ඡාදනං නහාපනං සම්බාහනං සාදියති, සො තදස්සාදෙති, තන්නිකාමෙති, තෙන ච චිත්තිං ආපජ්ජති, ඉදම්පි ඛො බ්‍රාහ්මණ බ්‍ර‍හ්මචරියස්ස ඛණ්ඩම්පි ඡිද්දම්පි සචලම්පි කම්මාසම්පි. අයං වුච්චති බ්‍රාහ්මණ අපරිසුද්ධං බ්‍ර‍හ්මචරියං චරති. සංයුත්තො මෙථූනෙන සංයොගෙන. න පරිමුච්චති ජාතියා ජරා මරණෙන -පෙ-- න පරිමුච්චති දුක්ඛස්මා ති වදාමි.

 

2. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න පි-සාදියති. අපි ච ඛො මාතු ගාමෙන සද්‍ධිං සඤ්ජග්ඝති, සංකීලති, සංකෙළායති, සො තදස්සාදෙති - වදාමි.

 

3. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න - සංකෙළායති. අපි ච ඛො මාතු ගාමස්ස චක්ඛුං උපනිජ්ඣායති. පෙක්ඛති - සො - වදාමි.

 

4. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න පෙක්ඛති. අපි ච ඛො මාතුගාමස්ස සද්දං සුණාති තිරොකුඩ්ඩා වා තිරොපාකාරාවා හසන්තියා වා භණන්තියා වා ගායන්තියා වා රොදන්තියාවා සො - වදාමි.

 

5. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- -න - රොදන්තියා වා අපිච ඛො යා නිස්ස තානි පුබ්බෙ මාතුගාමෙන සද්‍ධිං හසිත ලපිත කීළිතා නි, තානි අනුස්සරති. සො තදස්සා දෙති ---පෙ--- වදාමි.

 

6. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න අනුස්සරති. අපිච ඛො පස්සති ගහපති වා ගහපතිපුත්තං වා පඤ්චහි කාමගුණෙහි පමප්පිතං සමඞ්හිභූතං පරිචාරයමානං සො තදස්සාදෙති ---පෙ--- වදාමි.

 

7. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න පරිචාරයමානං. අපිච ඛො අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍ර‍හ්මචරියං චරති. ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍ර‍හ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා ති. සො තදස්සා දෙති ---- පෙ ---- ඉදං පි බ්‍රාහ්මණ බ්‍ර‍හ්මචරියස්ස ඛණ්ඩම්පි ඡිද්දම්පි සබලම්පි කම්මාසම්පීති[146]

 

මෙහි සංක්‍ෂිපත භාවය මෙසේ යි.

 

සප්තමෛථූනය

 

1. බ්‍රාහ්මණය! මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් තුමූ සම්‍යක් බ්‍ර‍හ්මචාරි යයි ප්‍ර‍තිඥා කරන්නෝ මාගම් - (ස්ත්‍රීන්) හා සමඟ මෙවුන්දම් සේවනය නො කරති. එතකුදු වුවත් මාගම් විසින් කරනු ලබන ඇඟ ඉලීම්, නැහැවීම්, අත් පා මැඩීම් ඉවසති. ආස්වාදනය කරති. කැමති වෙති. සතුටු වෙත්. බ්‍රාහ්මණය! මේ වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වේ. බ්‍රාහ්මණය! ඔවුන් මෛථුන සංයෝගයෙන් යුක්ත වැ අපිරිසිදු බ්‍ර‍හ්මචර්‍ය්‍යායෙහි හැසිරෙතියි කිය යුතු. ඔවුන් ජාති ජරා මරණාදියෙන් - දුකින් නොමිදෙන්නාහ යි කියමි.

 

2. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම් නො සෙවති. ඔවුන් විසින් කරනු ලබන ඇඟ ඉලීම් ආදිය ද නො ඉවසති. එතකුදු වුවත් ඔවුන් සමඟ කෙලෙස් වශයෙන් සිනාසෙති. සෙල්ලම් කරති. මමත්‍වය කරත්. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

 

3. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම්, සෙවුම්, ඇඟ ඉලුම්, ඉවසීම්, සිනාසීම් නො කෙරෙති. එතකුදු වුවත් මාගමුන් ඇසින් ඇස පැහැර බලති. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද සබල ද, කල්මාෂ ද වන්නේ ය.

 

4. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම් සෙවුම්, ඇඟ ඉලුම්, ඉවසීම්, සිනාසීම්, ඇසින් ඇස පැහැරැ බැලීම් නො කරති. එතකුදු වුවත් භිත්තියෙන් ප්‍රාකාරයෙන් පිටත සිටැ සිනාසෙන කථා කරන - ගායනා කරන - හඬන - මාගමගේ ශබ්දය අසත්. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

 

5. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම් සෙවුම්, ඇඟ ඉලුම්, ඉවසීම්, සිනාසීම්, බැලීම්, හඬ ඇසීම් නො කරති. එතකුදු වුවත් පෙර මාගමුන් සමඟ කළ සිනා, කථා, ක්‍රීඩා සිහි කරති. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

 

6. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේස මාගම් සමඟ මෙවුන්දම් ආදිය නො කරති. කථා ද සිහි නො කරති. එතකුදු වුවත් පඤ්චකාමයෙන් සමර්පිත සමඞ්ගීභූත ගෘහපතීන් හෝ ගෘහපති පුත්‍ර‍යන් හෝ දැක එය - (පඤ්චකාමය) කැමැති වෙති. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

 

7. බ්‍රාහ්මණය! වැළි දු මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් එසේ මාගම් සමඟ මෙවුන්දම් සෙවුම් ආදිය නො කරති. පස්කම් සැප විඳින ගෘහපතියකු හෝ ගෘහපති පුත්‍ර‍යකු හෝ දැකැ එය කැමැති නො වෙති. එතකු දු වුවත් එක්තරා දිව්‍යනිකායක් ප්‍රාර්‍ථනා කොටැ ගෙන “මම මේ ශීලයෙන් හෝ ව්‍ර‍තයෙන් හෝ තපසින් හෝ බ්‍ර‍හ්මචර්‍ය්‍යායෙන් හෝ ප්‍ර‍සිද්ධ දෙවියෙක් හෝ අප්‍ර‍සිද්ධ දෙවියෙක් හෝ වෙම්වා”යි බ්‍ර‍හ්මචර්‍ය්‍යායෙහි හැසිරෙති. බ්‍රාහ්මණය! මේ ද වනාහි බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට ඛණ්ඩ ද, ඡිද්‍ර‍ ද, සබල ද, කල්මාෂ ද වන්නේ ය.

 

මෙසේ සප්තවිධ මෛථුනයෙන් ශීලයාගේ ඛණ්ඩාදි භාවය සඞ්ග්‍ර‍හ කරන ලදැයි දත යුතුයි.

 

ශීලය අඛණ්ඩ, අච්ඡිද්‍ර‍, අසබල, අකල්මාෂ වන්නේ කවර

හේතුවලින් ද

 

සර්‍වාකාරයෙන් ශික්‍ෂාපද බිඳ නො ගැන්ම ය; බිඳුණු ප්‍ර‍තිකර්‍ම කරගත හැකි ශික්‍ෂාපදවලට ප්‍ර‍තිකර්‍ම කර ගැන්ම ය; සප්තවිධ මෛථුනයෙන් වියුක්ත වීම ය; අන්‍යවූත් ක්‍රෝධ, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්ඡරිය, මායා, සාඨෙය්‍ය, ථම්හ, සාරම්භ, මාන, අතිමාන, මද, පමාද යනාදි පාපධර්‍මයන් නො ඉපදවීම ය. අප්පිච්ඡතා, සන්තුඨිතා, සල්ලෙඛතාදි ගුණ උපදවීම ය යන මේ හේතු වලින් ශීලයාගේ අඛණ්ඩ, අච්ඡිද්‍ර‍, අසබල, අකල්මාෂ භාවය වන්නේ ය.

 

යම් සීල කෙනෙක් ලාභ, යස, ධන, ඤාති, අඞ්ග, ජීවිත පිණිස පවා නො බිඳ රැකැ ගන්නා ලද්දේ ද පමා වරදෙකින් බිඳුණ ද යළි පිළියම් කරැ ගන්නා ලද්දේ ද, මෛථුන සංයෝගයන්ගෙන් හෝ ක්‍රෝධ උපනාහාදි පාපධර්‍මයන්ගෙන් අනුපහතයෝ ද ඒ සීලයෝ සර්‍වප්‍ර‍කාරයෙන් අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකම්මාස සීලයෝ යයි කියනු ලැබෙත්. එබඳු සීලයෝ මැ තෘෂ්ණාදාසත්‍වයෙන් මුදන බැවින් භුඡිස්ස නම් වෙති. නුවණැතියන් විසින් පසස්නා ලද බැවින් විඤ්ඤුප්පසත්‍ථ නම් වෙති. තෘෂ්ණා දෘෂ්ටි විසින් ස්පර්‍ශ නො කළ බැවින් අපරාමට්ඨ නම් වෙති. උපචාර අර්පණා සමාධි උපදවන බැවින් සමාධි සංවත්තනික නම් ද වෙත්. මෙසේ හෙයින් අඛණ්ඩාදි භාවය මැ ශීලයා ගේ වොදාන - (පිරිසිදු බව) යයි දත යුතු යි.

 

ද්විධ සීල වොදාන

 

මේ සීල වෝදානය - (සීලයාගේ පිරිසිදු බව) වනාහි සීල විපත්තියෙහි ආදීනව දැක්ම ය. සීලසම්පත්තියෙහි ආනිසංස දැක්ම ය යන දෙයාකාරයෙන් සිද්ධ වේ.

 

සීලවිපත්තියෙහි ආදීනව දැක්ම

 

“පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා”[147] යනාදීන් වදාළ නයෙන් සීලවිපත්තියෙහි ආදීනව දත යුතුයි. “මහණෙනි! දුස්සීලයාගේ සීලවිපත්තියෙහි මේ ආදීනව පසෙකි.

 

1. “මහණෙනි! සීලවිපන්න දුස්සීලයා ප්‍ර‍මාද හේතුයෙන් මහත් වූ භෝග හානියට පැමිණෙන්නේ ය. මේ දුශ්ශීලයා ගේ ශීල විපත්තියෙහි පළමුවන ආදීනවය යි.

 

2. “මහණෙනි! සීලවිපන්න - දුශ්ශීලයාගේ ලාමක කීර්‍තති ශබ්දයෙක් පැන නඟින්නේ ය. මේ දුශ්ශීලයා ගේ ශීල විපත්තියෙහි දෙවන ආදීනවය යි.

 

3. “මහණෙනි! සීලවිපන්න - දුශ්ශීලයා ක්‍ෂත්‍රිය පිරිසකට වේව යි; බ්‍රාහ්මණ පිරිසකට වේව යි; ගෘහපති පිරිසකට වේව යි; ශ්‍ර‍මණ පිරිසකට වේව යි අවිසාරද වැ මකු වැ එළඹෙන්නේ ය. මේ දුශ්ශීලයා ගේ ශීල විපත්තියෙහි තෙවන ආදීනවය යි.

 

4. “මහණෙනි! සීලවිපන්න - දුශ්ශීලයා සම්මුඪ වැ කලුරිය කරන්නේ ය. මේ දුශ්ශීලයා ගේ ශීල විපත්තියෙහි සිව්වන ආදීනවය යි.

 

5. “මහණෙනි! සීලවිපන්න - දුශ්ශීලයා කාබුන් මරණින් මතු අපායෙහි උපදින්නේ ය. මේ දුශ්ශීලයා ගේ ශීල විපත්තියෙහි පස්වන ආදීනවය යි.” (මේ වනාහි සූත්‍ර‍යාගේ භාවය යි.)

 

තව ද දුශ්ශීලයා ස්වකීය දුශ්ශීල භාවය හේතු කොටැ දෙව් මිනිසුන්ට අප්‍රිය වන්නේ ය. සබ්රම්සරුන් විසින් පිළිකුල් බැවින් අනුශාසනා නො කළ යුතු වන්නේ ය. දුශ්ශීලයන්ට ගර්හා කරන කල්හි තෙමේ දුක් වන්නේ ය. ශීලවන්තයන් ප්‍ර‍ශංසා කරන කල්හි විපිළිසර වන්නේ ය. හණ වස්ත්‍ර‍යක් මෙන් ගුණයෙන් හා ශරීරයෙන් දුර්‍වණ ද, දෘෂ්ටානුගතියට පැමිණෙන්නවුන්ට අපාය දුක් එළවන බැවින් දුඃසපර්‍ශ ද, දන් දෙන්නවුන්ට මහත් ඵල නො කරන හෙයින් අල්පාර්ඝ ද වන්නේ ය. හව්රුදු ගණන් ඉක්මුණු අසූචි වළක් මෙන් දුඃශෝධ්‍ය වන්නේ ය. දරට ද, වැඩට ද, නො ගත හැකි සොහොන් පෙනහෙල්ලක් මෙන් ගිහිකමින් ද, මහණුවමින් ද බැහැර වන්නේ ය. “මමත් ගවයෙකිමි”යි ගෝගණයා අනු වැ යන ගද්‍ර‍භයකු මෙන් තෙමේ “භික්‍ෂු” යයි ප්‍ර‍තිඥා කරත් භික්‍ෂුවෙක් නො වන්නේ ය. සියල්ලන්ට වෛරී පුරුෂයකු මෙන් නිති උද්වේග වන්නේ ය. මළමිනියක් මෙන් සංවාසයට සුදුසු නො වන්නේ ය. බහුශ්‍රැතත්‍වාදියෙන් යුක්ත නමුදු බමුණන් විසින් සොහොන් ගින්න මෙන් සබ්රම්සරුන් විසින් නො පිදිය යුතු වන්නේ ය. රූ දැක්මෙහි අන්‍ධයා මෙන් විශේෂාධිගමයෙහි අභව්‍ය වන්නේ ය. රාජ්‍යයෙහි සැඩොල් කොලු මෙන් සද්ධර්‍මයෙහි නිරාස වන්නේ ය. අග්ගික්ඛන්‍ධොපම සූත්‍රයෙහි වදාළ දුකට හිමි වැ සිටින බැවින් තෙමේ සුඛිතය යි සිතන්නේ නමුදු දුක්ඛිතමැ වන්නේ ය.

 

ඒ එසේ මැ යි :-

 

පඤ්චකාම ගුණ පරිභෝගයෙහි හා වන්‍දනමානනාදිය ලැබීමෙහි සුඛාස්වාදයෙන් ගථිත වූ සිත් ඇති දුස්සීලයනට ඒ හේතුවෙන් ලැබෙන - සිහිවන පමණෙනු දු හෘදය තප්ත කොටැ උණු ලේ නැංවීමට තරම් වූ අති කටුක දුක් දක්වන - සර්‍වාකාරයෙන් ප්‍ර‍ත්‍යක්‍ෂ කර්‍ම විපාක ඇති - “පසස්ථ නොතුම්හෙ භික්ඛවෙ අමුං මහන්තං අග්ගික්ඛන්‍ධං ආදිත්තං සමපජ්ජලිතං සජොතිභූතං ති. එවං භනෙත තං කිං මඤ්ඤථ භික්ඛවෙ! කතමං නු ඛො වරං යං අමුං මහන්තං අග්ගික්ඛන්‍ධං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභුතං ආලිංගිත්‍වා උපනිසිද්‍යෙ වා? උපනිපජ්ජෙය්‍ය වා? යං ඛත්තියකඤ්ඤං වා බ්‍රාහ්මණකඤ්ඤං වා ගහපතිකඤ්ඤං වා මුදුතලුන හත්‍ථපාදිං ආලිඞ්ගිත්‍වා උපනිසිදෙය්‍ය වා? උපනිපජ්ජෙය්‍ය වා? ති[148] යනාදීන් අග්ගික්ඛන්‍ධොපම සූත්‍ර‍ය භගවත් බුදුරජාණන්වහන්සේ වදාළ සේක.

 

එහි සංක්‍ෂිප්ත භාවය මෙසේ ය.

 

“එක් කලෙක භගවත් බුදුරජාණන් වහන්සේ කොසොල් දනව්වෙහි සැරිසරන සේක් දිලී නැගෙන මහා ගිනිකඳක් දැකැ මාර්‍ගයෙන් ඉවත් වැ එක් රුක් මුලෙක පැණෙව් අස්නෙහි වැඩැ හිඳැ භික්‍ෂූන් අමතා “මහණෙනි! තෙ මහා ගිනිකඳ දක්නහුදැ”යි වදාළ සේක. භික්‍ෂූහු “එසේය ස්වාමිනි දකුම්හ”යි කීවාහු ය.

 

“මහණෙනි! තොපි කුමක් සිතව් ද තෙල මහා ගිනි කඳ වැළඳැ ගෙනැ හිඳීම හෝ නිදීම හොඳ ද මෘදු මොළොක් අත් පා ඇති ක්‍ෂත්‍රිය කන්‍යාවක් හෝ බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ වැළඳැ ගෙනැ හිඳීම හෝ නිදීම හොඳ ද” “ස්වාමීනි! ක්‍ෂත්‍රියාදි කන්‍යාවක් වැළැඳැ ගෙනැ හිඳීම හෝ නිදීම සොඳ ය. තෙල මහා ගිනිකඳ වැළඳැ ගෙන හිඳීම හෝ නිදීම දුකය.”

 

“මහණෙනි! මම තොපට දැනුම් දෙමි. අපිරිසිදු සැක කටයුතු හැසුරුම් වලින් යුත් - පිළිසන් කර්‍මාන්ත ඇති - අශ්‍ර‍මණ වැ ශ්‍ර‍මණයයි ප්‍ර‍තිඥා කරන - අබ්‍ර‍හ්මචාරී වැ බ්‍ර‍හ්මචාරීයයි ප්‍ර‍තිඥා කරන - ඇතුළ කුණු වූ - කෙළෙස් වලින් තෙත් - හටගත් කෙලෙස් කසට ඇති දුස්සීලයකු තෙල මහා ගිනිකඳ වැළඳැ ගෙනැ හිඳීම හෝ නිදීම සොඳ ය. එයින් ඔහුට වන්නේ මරණය හෝ මරණය තරම් දුක ය. එයින් හේ අපායට නො යන්නේය. මහණෙනි! දුස්සීල වැ මෘදු මොළොක් අත් පා ඇති ක්‍ෂත්‍රියාදි කන්‍යාවක් වැළඳැ ගෙනැ හිඳියේ නම් නිදියේ නම් එය උහුට අහිත පිණිස - දුක් පිණිස වන්නේ ය. එයින් හෙතෙමේ මරණින් මතු අපායට යන්නේ ය.

 

“මහණෙනි! තොපි කුමක් සිතව් ද කුමක් සොඳ ද බලසම්පන්න පුරුෂයකු විසින් සම් මස් නහර ඇට සිඳැ ඇටමිදුලු දක්වා හැපී සිටින සේ දෘඪ වූ වල් රැහැණෙකින් ජඞ්ඝා දෙක වෙළා ඇදීම සොඳ ද ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයන්ගේ වැඳුම ඉවසීම සොඳ ද” ‘ස්වාමීනි! වැඳුම් ඉවසීම සොඳ ය. වල් රැහැණින් ජඞ්ගා දෙක වෙළා ඇදීම දුක ය” මහණෙනි! මම තොපට දැනුම් දෙමි. වල් රැහැණින් එසේ ජඞ්ඝා දෙක වෙළා ඇදීම සොඳ ය. එයින් ඔහුට වන්නේ මරණය හෝ මරණය තරම් දුක ය. එයින් හේ අපායට නො යන්නේ ය. මහණෙනි! දුස්සීල වැ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයන්ගේ වැඳුම් ඉවසීම අහිත පිණිස - දුක් පිණිස වන්නේ ය. එයින් හෙතෙමේ මරණින් මතු අපායට යන්නේ ය.

 

“මහණෙනි! තොපි කුමක් සිතව් ද බලසම්පන්න පුරුෂයකු විසින් තෙල් සණ ලූ තියුණු අඩයටියෙකින් ළමැද පැහැරීම සොඳ ද ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයන්ගේ ඇඳිලි ඉවසීම සොඳ ද” ස්වාමීනි! ඒ ඇඳිලි ඉවසීම සොඳ ය. තලේ සණ ලූ තියුණු අඩයටියෙන් ළමැද පැහැරීම දුක ය” මහණෙනි! මම තොපට දැනුම් දෙමි. එ බඳු අඩයටියෙන් ළමැද පැහැරීම සොඳ ය. එයින් ඔහුට වන්නේ මරණය හෝ මරණය තරම් දුක ය. එයින් හේ අපායට නො යන්නේ ය. මහණෙනි! දුස්සීල වැ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයන්ගේ ඇඳිලි ඉවසීම අහිත පිණිස - දුක් පිණිස වන්නේ ය. එයින් හෙතෙමේ මරණින් මතු අපායට යන්නේ ය.

 

“මහණෙනි! තොපි කුමක් සිතව් ද බලවත් පුරුෂයකු විසින් ගිනි ගෙන දිලියෙන යපටයකින් ඇඟ වෙළාලීම සොඳ ද ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති මහාසාලයන් සැදැහැයෙන් දෙන සිවුරු පරිභෝග කිරීම සොඳ ද” – (සෙස්ස යට කී සේ ය.)

 

“මහණෙනි! තොපි කුමක් සිතව් ද” බලසම්පන්න පුරුෂයකු විසින් ගිනි ගෙන දිලියෙන යකඩ අඬුවකින් මුඛය විවෘත කොටැ තොල්, මුව, දිව, උගුර, පපු දවා අතුණු අතුණු බහන් බැහැර යන සේ ඇවිළ ගත් ලොහො ගුළි මුඛයෙහි දමා ලීම් සොඳ ද ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, මහාසාලයන් සැදැහැයෙන් දෙන පිණ්ඩපාතය වැළඳීම සොඳ ද” – (සෙස්ස යට කී සේ ය.)

 

“මහණෙනි! තොපි කුමක් සිතව් ද බලසම්පන්න පුරුෂයකු විසින් තෙල් සණ ලු තියුණු අඩයටියකින් ළමැද පැහැරීම සොඳ ද ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයන්ගේ ඇඳිලි ඉවසීම් ද සොඳ ද” ස්වාමිනි ඒ ඇඳිලි ඉවසීම සොඳ ය. තෙල් සණ ලූ තියුණු අඩටියෙන් ළමැද පැහැරීම දුක ය” මහණෙනි මම තෙපට දැනුම් දෙමි. එ බඳු අඩයටියෙන් ළමැද පැහැරීම සොඳ ය. එයින් ඔහුට වන්නේ මරණය හෝ මරණය තරම් දුක ය. එයින් ඔහු අපායට නො යන්නේ ය. මහණෙනි දුස්සීල වැ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයන්ගේ ඇඳිලි ඉවසීම් අහිත පිණිස - දුක් පිණිස වන්නේ ය. එයින් හෙතෙමේ අපායට යන්නේ ය.”

 

“මහණෙනි තොපි කුමක් සිතව් ද බලවත් පුරුෂයෙකු විසින් ගිනි ගෙන දිලිසෙන යපටකින් ඇඟ වෙළාලීම සොඳ ද ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති මහාසාලයන් සැදැහැයෙන් දෙන සිවුරු පරිභෝග කිරීම සොඳ ද” – (සෙස්ස යට කී සේ ක.)

 

“මහණෙනි තොපි කුමක් සිතව් ද” බලසම්පන්න පුරුෂයකු විසින් ගිනි ගෙන දිලිසෙන යකඩ අද්‍ධුවකින් මුඛය විවෘත කොටැ තොල්, මුව, දිව, උගුර, පපු දවා අතුණු අතුනුබහත් බැහැර යන සේ ඇවිළි ගත් ලොහො ගුළි මුඛයෙහි දමා ලීම් සොඳ ද ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, මහාසාලයන් සැදැහැයෙන් දෙන පිණ්ඩපාතය වැළඳීම සොඳ ඳ” – (සෙස්ස යට කී සේ ක.)

 

“මහණෙනි තොපි කුමක් සිතව් ද බලසම්පන්න පුරුෂයකු විසින් හිස හෝ කඳ හෝ අල්වා ගෙන ගිනි ගෙන දිලිසෙන ඇඳෙක හෝ පුටුවක හොවාලීම හෝ හිඳුවීම සොඳ ද ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති මහාසාලයන් සැදැහැයෙන් දෙන ඇඳ පුටු පරිහරණය කිරීම සොඳ ද” (සෙස්ස යට කී සේ ක.)

 

“මහණෙනි තොපි කුමක් සිතව් ද බලසම්පන්න පුරුෂයකු විසින් පා උඩු කොටැ හිස යටි කොටැ අල්වා ගෙනැ ගිනි ගෙන දිලිසෙන ලොහකුම්භියෙක පෙණ නඟමින් වරින් වර උඩ යට සරස යන සේ හෙළාලීම සොඳ ද ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති මහාසාලයන් සැදැහැයෙන් දෙන විහාරයෙක විසීම සොඳ ද (සෙස්ස යට කී සේ ක.)

 

“මහණෙනි තොප විසින් “අප යම් කෙනෙකුන්ගේ චීවර පිණ්ඩපාත, සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමු ද, ඔවුන්ගේ ඒ උපකාර අප විසින් මහත් ඵල මහානිසංස කළ යුතු ය. අපගේ මහණුවම් ද වඳ නො කොට සඵලකර ගත යුතුය’ යි හික්මිය යුතු ය. මහණෙනි ආත්මාර්‍ථය හෝ පරාර්‍ථය හෝ උභයාර්‍ථය හෝ බලන්නහු විසින් අප්‍ර‍මාදයෙන් සම්පාදනය කර ගත යුතු යි” (මේ සූත්‍ර‍ය දේශනා කරත් සැටක් පමණ භික්‍ෂූන්ගේ මුඛයෙන් උණු ලේ නැංගේ ය. සැටක් පමණ භික්‍ෂූහු “දුෂ්කරය ස්වාමීනි අති දුෂ්කරය ස්වාමිනි” යි ශික්‍ෂා ප්‍ර‍ත්‍යඛ්‍යාන කොටැ ගිහි වූහ. සැටක් පමණ භික්‍ෂූහු රහත් වූහ.)

 

මෙහි වල් රැහැන්, තියුණු අඩයටි, යපට, යගුළි, යකඩ ඇඳපුටු, යකුළු උපමා වලින් අභිවාදන, අඤ්ජලීකර්‍ම, චීවර, පිණ්ඩපාත, ඇඳපුටු, විහාර පරිභෝගයෙන් වන දුක් දක්වා වදාළ සේක.

 

එබැවින් මතු දැක්වෙන පරිදි ද ශීලවිපත්තියෙහි ආදීනව දැක්ක යුතු.

 

(ගාථාවන්ගේ භාවය.)

 

ගිනිකඳ වැළඳ ගැන්මෙන් වන දුකට වඩා අධික දුක් දෙන කටුක විපාක ඇති කාමසුඛය නො හරන දුශ්ශීල මහණ හට සැපයෙක් කොයින් ද

 

දෘඪ වූ වල් රැහැනින් ගැසීමෙන් වන දුකට වඩා අධික දුකට හේතු වන වැඳුම් ඉවසීමෙහි දුශ්ශීල හට කවර නම් සුවයෙක් ද

 

තියුණු අඩයටියෙන් පහරන දුකට වඩා අධික දුකට හේතු වන සැදැහැවතුන්ගේ ඇඳිලි ඉවසීමෙහි දුශ්ශීල හට කවර සැපෙක් ද

 

යමකු විසින් බොහෝ කලක් නිරයෙහි ගිනි ගෙන දිලියෙන යවට පහස් විඳිය යුතු ද, ඒ දුශ්ශීල හට චීවර පරිභෝග සුඛය නම් කිම.

 

යමකු විසින් බොහෝ කලක් ගිනි ගෙන දිලියෙන යවට ගිළිය යුතු ද, ඒ දුශ්ශීල හට මධුර ද වූ පිණ්ඩපාතය හළා හළ විස වැන්නේ ය.

 

ගිනි ගෙන දිලියෙන අයොමඤ්ච දුඃඛයෝ යමකු පෙළත් ද, ඒ දුශ්ශීල හට සුඛ සම්මත ද මඤ්චපීඨපරිභෝගය දුඃඛ මැ වන්නේ ය.

 

යමකු විසින් ගිනි ගෙන දිලියෙන ලොහොකුඹු මැද විසිය යුතු ද, ඒ දුශ්ශීල හට ශ්‍ර‍ද්ධාදෙය වූ විහාරයෙහි කවර නම් නිවාස රතියෙක් ද

 

ලෝකස්වාමින් වහන්සේ යමෙකුට නින්‍දා කරන සේක් “සංකස්සරසමාචාරය, කසම්බුජාතකය, අවස්සුතය, පාපය, අනේතාපූතිය” යි වදාළ සේක් ද-

 

ඒ ශ්‍ර‍මණ නො වූ ශ්‍ර‍මණවේෂධාරී වූ - අභාග්‍යවත් වූ - ගුණ කැඩුණු - ගුණ තුවාළ වුණු ආත්මය ධරන්නා වූ - දුශ්ශීලයාගේ ජීවිතයට නින්‍දා වේවා.

 

මණ්ඩනකාමීහු අසූචි මෙන් කුණප මෙන් ශීලවත් සත් පුරුෂයෝ යමකු දුරු කරත් ද, ඒ දුශ්ශීලයාගේ මෙලොව ජීවිතය කුමට ද

 

කිසි බියෙකින් නො මිදුණු - සියලු අධිගම සුඛවලින් මිදුණු - පියාලූ ස්වර්‍ගවාර ඇති - අපාය මාර්‍ගයට ආරූඪ වූ කාරුණික ජනයාගේ කරුණාවට භාජන වූ දුශ්ශීලයා බඳු අනෙකක් නම් කවරේ ද

 

මෙසේ දුශ්ශීලයාගේ දෝෂ අනේකවිධයි;

 

මේ ආදිය සලකා ශීලවිපත්තියෙහි ආදීනව දැක්මෙන් ශීලවෝදානය සිද්ධ වේ. මෙයට ප්‍ර‍තිපක්‍ෂ වශයෙන් ශීල සම්පත්තියෙහි ආනිසංස දැක්මෙන් ද ශීලවෝදානය සිද්‍ධ වේ.

 

තවද ශීලසම්පත්තියෙහි ආනිසංස මෙසේ ද දත යුතුයි.

(ගාථාවන්ගේ භාවය)

 

යමෙකුගේ ශීලය නිර්‍මල වන්නේ ද, හුගේ පා සිවුරු ධැරීම ප්‍ර‍සාදජනක වෙන්නේ ය. ඔහුගේ ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව ද ඵලවත් ය.

 

‘හිරු කරා අන්‍ධකාරය මෙන් ශුද්ධ ශීල භික්‍ෂූහුගේ හෘදය කරා අත්තානුවාදාදි භය නො එළඹෙන්නේ ය.”

 

“ගුවනෙහි චන්‍ද්‍ර‍යා ප්‍ර‍භා සම්පත්තියෙන් මෙන් තපෝ වෙනෙහි ශීලවත් භික්‍ෂු ශීලසම්පත්තියෙන් බබළන්නේ ය.”

 

“ශීලවත් භික්‍ෂුහුගේ කායගන්‍ධය ද දෙවියන්ට ප්‍රියංකර වන්නේ ය. ශීලගන්‍ධය ගැන කියනු කිම?”

 

“නගර මල්ලිකාදි සියලු ගන්‍ධ ජාතීන්ගේ සුගන්‍ධය අභිභවනය කොටැ ශීල සුගන්‍ධය සියලු දික්හි අප්‍ර‍තිහත වැ හමන්නේ ය.

 

“ශීලවත්හු කෙරෙහි කළ ස්වල්ප ක්‍රියා ද මහත් ඵල වන්නේ ය. එහෙයින් සීලවන්තයා පූජාසත්කාරයන්ට භාජනයි.”

 

“මේ ආත්ම භාවයෙහි වන වධබන්‍ධනාදි උපද්‍ර‍වයෝ සීලවන්තයා නොපෙළති. ඒ සීලවන්තයා පරලොව දුඃඛයන්ගේ මූල ද කණන්නේ ය.”

 

“මනුෂ්‍යයන් අතර ඇති තාක් සැප ද, දෙවියන් අතර ඇතිතාක් සැප ද කැමැතිවත් හොත් සීලවන්තයාට දුර්‍ලභ නො වේ.”

 

“අත්‍යන්ත ශාන්ත වූ යම් නිර්‍වාණ සම්පත්තියෙක් වේ ද, සීලවන්තයා ගේ සිත ඒ නිවන් සැප කරා මැ දිවන්නේ ය.”

 

“නුවණැත්තේ සියල් සැපතට මුල් වූ ශීලයෙහි මෙසේ අනේකාකාර විස්තර වූ ආනිසංස ප්‍ර‍කාශ කරන්නේ ය.”

 

“මෙසේ සලකන්නහුගේ සිත ශීලවිපත්තියෙන් උද්විග්න වැ ශීලසම්පත්තියට නැමෙයි. එහෙයින් යථෝක්ත ශීල විපත්තියෙහි ආදීනව ද ශීල සම්පත්තියෙහි ආනිසංස ද දැකැ සර්‍ව ප්‍රේමයෙන් ශීලවොදානය කර ගත යුතුයි.

 

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො” යනාදි ගාථායෙහි ශීල, සමාධි, ප්‍ර‍ඥා මුඛයෙන් වදාළ විශුද්‍ධිමාර්‍ගයෙහි ශීලය මෙතෙකින් විස්තර කරන ලද්දේ ය.

 

සජ්ජන ප්‍රමෝදය පිණිස කළ විශුද්‍ධිමාර්‍ගයෙහග

 

ශීලනිර්‍දෙශ නම් ප්‍ර‍ථම පරිච්ඡේද යි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සිංහල විශුද්‍ධිමාර්‍ගය

 

ධුතාඞ්ග නිර්දේශය

 

නමො භගවතො සම්බුද්ධස්ස

 

“අප්පිච්ඡතා සන්තුඨිතාදි ගුණයෙනේ ශීලය පිරිසිදු වන්නේය”යි යට ශීලනිර්‍දෙශයෙහි දක්වන ලද්දේ ය. ශීල සමාදන් වැ ගත් යෝගීහු විසින් අප්පිච්ඡතා දි ගුණයන් මැනෙවින් සම්පාදනය කරන්නට නම් ධුතාද්‍ධග සමාදන් විය යුතුය. ධුතාද්‍ධග සමාදන් වූ කල ම ඔහුගේ ශීලය අප්පිච්ඡතා, සන්තුඨිතා, සල්ලෙඛ-පිවෙක-අපචය-විරියාරම්භ-සුභරතාදි ගුණ නමැති ජලයෙන් මල සේදී ගොස් පිරිසිදු වන්නේ ය. ව්‍ර‍ත සම්පාදනය වන්නේත් ඔහුට ම ය. එසේ ශීලයෙන් හා ව්‍ර‍තයෙන් පිරිසිදු හැසිරීම් ඇත්තේ ම පුරාණ ආර්‍ය්‍යවංශ තුනෙහි පිහිටා භාවනා රාමතා සංඛ්‍යාත සතරවන ආර්‍ය්‍යවංශයට පැමිණීමට සුදුස්සෙක් වන්නේ ය. එ බැවින් දැන් ධුතාඞ්ග කථාව දක්වම්හ.

 

භගවත් බුදුන් වහන්සේ විසින් ලෝකාමිෂය හැරැ පියා කාය ජීවිත දෙක්හිා නිරපෙක්‍ෂ වැ අනුලෝම ප්‍ර‍තිපදාව ලබා ගන්නට කැමැති කුලදරුවන් උදෙසා ධුතාඞ්ග තෙළෙසක් අනුදන්නා ලද්දේ ය. ඒ

 

තෙළෙස් ධුතාඞ්ග නම්

 

1.  පංසුකුලිකඞ්ගය         2. තෙවීචරිකඞ්ගය

3.  පිණ්ඩපාතිකඞ්ගය      4. සපදානවාරිකඞ්ගය

5.  එකාසනිකඞ්ගය        6. පත්තපිණ්ඩිකඞ්ගය

7.  ඛලුපච්ඡාභත්තිකඞ්ගය 8. ආරඤ්ඤිකඞ්ගය

9.  රුක්ඛමූලිකඞ්ගය       10. අබෙහාකාසිකඞ්ගය

11. සොසානිකඞ්ගය        12. යථාසන්‍ථතිකඞ්ගය

13. නෛසජ්ජිකඞ්ගය යන මොහු යි.

 

මේ ධුතාඞ්ග වනාහි අර්‍ථ වශයෙන් ද, ලක්‍ෂණ -රස-පච්චුපට්ඨාන - පදට්ඨාන වශයෙන් ද, සමාදාන වශයෙන් ද, විධාන වශයෙන් ද, ප්‍රභේද වශයෙන් ද, භේද වශයෙන් ද, ආනිසංස වශයෙන් ද, මතු විනිශ්චය කරනු ලැබේ. එසේ ම කුශලත්‍රික වශයෙන් ද, ධුතාදි විභාග වශයෙන් ද, සමාස ව්‍යාස වශයෙන් ද, විනිශ්චය කරනු ලැබේ.

 

ධුතාඞ්ගයන්ගේ අර්‍ථ විනිශ්චය

 

1. පංසුකුලිකඞ්ගය - පංසු නම් වීථි සොහොන් කසල ගොඩ ආදිය අතුරෙන් යම් කිසි තැනෙක පස් ය. ඒ පංසූන්හි කුලයක්-ඉවුරක් මෙන් පවත්නේ පංසුකූලය. මෙහි ඉවුරක් මෙන් පැවැත්ම නම් උස් වැ තිබීම ය. (පස් මතුයෙහි ඉවුරක් මෙන් වැටී තිබෙන දෙය පංසුකූලය යි කී සේ ය. “පංසුසුකූලමිච-පංසුකූලං” යනු විග්‍ර‍හ වාක්‍යයි.)

 

තව ද යමක් පස් මෙන් පිළිකුල් බවට පැමිණෙන්නේ ද, එ ද පංසුකූලය යි කියනු ලැබේ. මේ අර්‍ථ පක්‍ෂයෙහි පංසු + කු + උල යයි පදචෙඡද කළ යුතු. පංසු නම් පස්. කු නම් කුච්ඡිත - පිළිකුල්. උල නම් පැමිණීම. “පංසු විය කුචඡිත භාවං උලති ගච්ඡතීති පංසුකූලං” යනු එහි විග්‍ර‍හ වාක්‍ය යි.)

 

 පංසුකූල ධැරීම ද පංසුකූල ශබ්දයෙන් ම කියනු ලැබේ. (පංසුකූල ධාරණය යි කිය යුතු තැන ධාරණ ශබ්දය ලොප් විය.) යමෙක් පංසුකූල ධැරීම ස්වභාව කොට ඇත්තේ ද හෙතෙම පංසුකූලික නම් වේ. ඒ පංසුකූලිකයාගේ අඞ්ගය පංසුකූලිකඞ්ගය යි. මෙහි අඞ්ග නම් කාරණය යි. යම් සමාදානයෙකින් භික්‍ෂුතෙම පංසුකූලික වේ ද ඔහුගේ ඒ සමාදාන ලක්‍ෂණ චේතනාව පංසුකූලිකඞ්ග නම් වීය යි දත යුතු යි.

 

2. තෙචීවරිකඞ්ගය - තෙචීවර නම් සංඝාටි, උත්තරාසඞ්ග, අන්තරවාසක යන සිව්රු තුන ය. ඒ තෙචීවර ධාරණය ද තෙචීවර ය. යමෙක් තෙචීවර ධාරණය ස්වභාවකොට ඇත්තේ ද හෙතෙම තෙචීවරිකය. තෙචීවරිකයාගේ අඞ්ගය තෙචීවරිකඞ්ගය යි.

 

3. පිණ්ඩපාතිකඞ්ගය - භික්‍ෂා සංඛ්‍යාත ආමිස පිණ්ඩයන්ගේ පාතය පිණ්ඩපාතය. එ නම් අනුන් විසින් දෙන ලද පිණ්ඩයන් පාත්‍රයෙහි හීමයි. ගෙයක් ගෙයක් කරා ගොස් ඒ පිණ්ඩපාතය සොයා ගන්නේ පිණ්ඩපාතිකය. පිණ්ඩපාතිකයා ගේ අඞ්ගය පිණ්ඩපාතිකඞ්ගය යි. නොහොත් පිඬු පිණිස හැසිරීමේ ව්‍ර‍තය යමෙකුට ඇත්තේ ද හෙතෙම පිණ්ඩපාතීය. පිණ්ඩපාතී ම පිණ්ඩපාතිකය. පිණ්ඩපාතිකයා ගේ අඞ්ගය පිණ්ඩපාතිකඞ්ගය යි.

 

4. සපදානචාරිකඞ්ගය - දාන නම් මෙහි කඩ කිරීමය. දානයෙන් අපේත වූයේ අපදානය. හෙවත් නො කඩකිරීම ය. අපදාන හෙවත් නො කඩකිරීම සහිත වූයේ සපදානය. එවිට එහි අර්‍ථය ගෙපිළිවෙළින් යනුයි. සපදාන හෙවත් ගෙපිළිවෙළින් පිඬු සොයා හැසිරීම යමෙකුගේ ශීලය ද හෙතෙම සපදානචාරීය. සපදානචාරී ම සපදානචාරිකය. සපදානචාරිකයාගේ අඞ්ගය සපදානචාරිකඞ්ගය යි.

 

5. එකාසනිකඞ්ගය - එක ආසනයෙක් ම හිඳැ වැළදීම ඒකාසනය ඒ එඒකාසනය යමෙකුගේ සීලය ද හෙතෙම ඒකාසනිකය. ඒකාසනිකයාගේ අඞ්ගය එකාසනිකඞ්ගය යි.

 

6. පත්තපිණ්ඩකඞ්ගය - පත්තපිණ්ඩ නම් දෙවන භාජන ප්‍ර‍තික්‍ෂෙප කොටැ එක ම පාත්‍රයෙහි ගන්නා පිණ්ඩය යි. ඒ පත්තපිණ්ඩය හෙවත් එක ම පාත්‍රයෙහි පිඬු ගැන්ම - වැළඳීම යමෙකුගේ සීලය වේ ද හෙතෙම පත්තපිණ්ඩිකය. පත්තපිණ්ඩිකයාගේ අඞ්ගය පත්තපිණ්ඩිකඞ්ගය යි.

 

7. ඛලුපච්ඡාභත්තිකඞ්ගය - ඛලු යනු ප්‍ර‍තිෂෙධාර්‍ථයෙහි නිපාතයෙකි. පච්ඡාභත්ත නම් පවාරණ වීමෙන් පසු ලැබෙන බතයි හෙවත් භෝජනය යි. ඒ භෝජනය වැළඳීම ද මෙහි පච්ඡාභත්ත ශබ්දයෙන් ම කියනු ලැබේ. පච්ඡාභතතය හෙවත් පවාරණ වීමෙන් පසු වැළඳීම යමෙකුගේ ශීලය වේ ද හෙතෙම පච්ඡාභත්තිකය එබඳු ස්වභාවය නැත්තේ ඛලුපච්ඡාභත්තිකය. පවාරණ වීමෙන් පසු ලැබෙන භෝජනය වැළඳීම සමාදන් වීම් වශයෙන් හැර පියූ භික්‍ෂුව මෙහි ඛලුපච්ඡාභත්තිකය යි කියන ලදැයි දත යුතු යි.

 

මේ සඳහා අටුවායෙහි දැක්වුණේ අන්‍ය ක්‍ර‍මයෙකි.

 

ඒ මෙසේ යි :- ඛලු යනු පක්‍ෂි විශේෂයකි. ඒ පක්‍ෂියා මුඛයෙන් ගත් ඵලය ඉදින් බිම වැටී ගියේ නම් අන්‍ය ඵලයකු දු නො කන්නේ ය. එසේ මැ යම් භික්‍ෂු කෙනෙක් පවාරණ වීමෙන් පසු ලැබෙන භෝජනය නො වළඳන්නේ ද? හෙතෙම ඛලුපච්ඡාභත්තිකය යි කියනු ලැබේ යනු යි.

 

8. ආරඤ්ඤිකඞ්ගය :- (ආරඤ්ඤ නම් ගම්මානයෙන් දුනු පන්සියයෙකින් ඈත වනය යි) අරණ්‍යයෙහි විසීම යමෙකුගේ ස්වභාවය ද හෙතෙම ආරඤ්ඤිකය. ආරඤ්ඤිකයාගේ අඞ්ගය අරඤ්ඤිකඞ්ගයයි.

 

9. රුක්ඛමූලිකඞ්ගය :- වෘක්‍ෂමූලියෙහි වාසය රුක්ඛමූලය. රුක්ඛමූල වාසය යමෙකුගේ ස්වභාවය වේද හෙතෙම රුක්ඛමූලිකය. රුක්ඛමූලිකයාගේ අඞ්ගය රුක්ඛමූලිකඞ්ගය යි.

 

10. අබ්භෝකාසිකඞ්ගය :- අභ්‍යවකාශ වාසය අබේභාකාසය අභ්‍යවකාශ නම් සෙවන නැති අහසයි. අබේභාකාස වාසය යමෙකුගේ ස්වභාවය වේද හෙතෙම අබේභාකාසිකය. අබේභාකාසිකයාගේ අඞ්ගය අබ්භොකාසිකඞ්ගය යි.

 

11. සෝසානිකඞ්ගය :- සුසානයෙහි වාසය සුසානය. සුසාන නම් සොහොන. සුසාන වාසය යමෙකුගේ ස්වභාවය වේ ද හෙතෙම සෝසානිකය. සෝසානිකයාගේ අඞ්ගය සෝසානිකඞ්ගය යි.

 

12. යථාසත්‍ථතිකඞ්ගය :- යථාසත්‍ථත නම් ‘මෙය ඔබ වහන්සේ වෙනුවට පත් වුණේය’යි පළමුකොට නියම කරන ලද සේනාසනය යි. එහි වාසය ද යථාසත්‍ථය. යථාසත්‍ථ වාසය යමෙකුගේ ශීලය වේද හෙතෙම යථාසත්‍ථකිය. ඔහුගේ අඞ්ගය යථාසත්‍ථතිකඞ්ගය යි.

 

13. නෙසජ්ජිකඞ්ගය :- නිසජ්ජා නම් සයනය (නිදාගැනීම) හැරැ පියා හිඳැගෙනැම කල් යැවීම ය. නිසජ්ජාව යමෙකුගේ ස්වභාවය වේ ද හෙතෙම නෙසජ්ජික ය. නෙසජ්ජිකයාගේ අඞ්ගය නෙසජ්ජිකඞ්ගය යි.

 

ධුතඞ්ග ශබ්දයාගේ අර්‍ථ

 

“ධුතස්ස අඞ්ගානි - ධුතඞ්ගානි” ධුතයාගේ අඞ්ගයෝ ධුතඞ්ගයෝ ය. ධුතයා නම් ඒ ඒ අඞ්ග සමාදානයෙන් කෙලෙස් කම්පාකර හරින භික්‍ෂුය. කෙලෙස් කම්පාකර හරින භික්‍ෂුවගේ අඞ්ගයෝ ධුතඞ්ගයෝ නම් වෙති යි කී සේ යි.

 

නැතහොත් කෙලෙස් කම්පාකර හරින බැවින් ධුතය යි ඤාණයට කියනු ලැබේ. ඒ ධුත සඞ්ඛ්‍යාත ඤාණය අඞ්ගවූයේ යම් ධර්‍ම කෙනෙකුන්ට ද ඒ ධර්‍මයෝ ධූතඞ්ගයෝ ය. (“ධූතං ඤාණං අඞ්ගා එතෙසං’ති ධුතඞ්ගානි.” මෙයින් ධුතාඞ්ග ප්‍ර‍ඥානුගත බව කීහ.)

 

නොහොත් ප්‍ර‍තිපක්‍ෂ කෙලෙසුන් ධුනනය - කම්පනය කරන්නෝත් ඔහුම ය. ප්‍ර‍තිපත්තියට අඞ්ග වූවෝත් ඔහු ම නුයි ධුතාඞ්ගයෝ නම් වෙත්. (“ධුතානි ච තානි අඞ්ගානිචා ති ධුතඞ්ගානි.”)

 

ධුතාඞ්ගාර්‍ථ විනිශ්වය යි.

 

ධුතාඞ්ගයන්ගේ ලක්‍ෂණ රස, පච්චුපට්ඨාන, පදට්ඨාන

 

සියලු ධුතඞ්ග වනාහි සමාදාන වශයෙන් පැවැති චේතනාව ලක්‍ෂණ කොට ඇත්තේ ය. කියන ලද මැ යි. අටුවායෙහි “යො සමාදියති සො පුග්ගලො. යෙන සමාදියති චිත්ත චෙතසිකා එතෙ ධම්මා. යා සමාදාන චෙතනා තා ධුතඞ්ගං යං පටික්ඛීපති තං වත්‍ථු”යි. යමෙක් සමාදන් වැ ගන්නේ ද හෙතෙම පුද්ගලයා ය. යමක් කරණකොට ගෙන සමාදන් වේ ද ඔව්හු චිත්ත චෛතසික ධර්‍මයෝ ය. යම් සමාදාන චේතනාවක් වේද එය ධුතඞ්ගය යි. යම් ගෘහපති චීවරාදියක් ප්‍ර‍තික්‍ෂෙප කරයි ද එය වස්තුයි යනු එහි භාව යි. (ලක්‍ෂණ නම් ස්වභාවය යි දත යුතු.)

 

සියලු ධුතාඞ්ග ලොලුප්ප විද්ධංසනය රස කොට ඇත්තේ ය. (ලොලුප්ප විද්ධංසනය නම් තෘෂ්ණාචාර නැති කිරීම ය. රස නම් කෘත්‍ය හා සම්පත් ය. එසේ ම සියලු ධුතඞ්ග නිලේලාලුප්පභාවය පච්චුපට්ඨාන කොට ඇත්තේ ය. නිල්ලොලුප්පභාවය නම් තෘෂ්ණාචාර සඞ්ඛ්‍යාත ලොලුප්ප භාවයක් නැති බව යි. පච්චුපඨාන නම් වැටහෙන ආකාරය යි.)

 

එසේ ම සියලු ධුතාඞ්ග අලේපේච්ඡතාදි ආර්‍ය්‍ය ධර්‍ම පදස්ථාන කොටැ ඇත්තේ ය. පදස්ථාන නම් ආසන්න කාරණය යි.

 

ධුතාඞ්ගයන්ගේ ලක්‍ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන විනිශ්වයයි.

 

 

ධුතඞ්ග සමාදානය

 

සියලු ම ධුතාඞ්ග බුදුරජාණන් වහන්සේ ජීවමාන කල්හි උන්වහන්සේ වෙතින් ම සමාදන් විය යුතු. උන්වහන්සේ පිරිනිවි කල්හි මහාශ්‍රාවකයන් වෙතින් සමාදන් විය යුතු. මහා ශ්‍රාවකයන් පිරිනිවි කල රහතුන්ගෙන් ද, රහතුන් පිරිනිව කල්හි අනාගාමීන්ගෙන් ද, අනාගාමීන් නැති කල්හි සකෘදාගාමීන්ගෙන් ද, සකෘදාගාමීන් නැති කල්හි සෝවාන් වෙතින් ද, සෝවාන්හු නැති කල්හි ත්‍රිපිටකධරයන් වෙතින් ද, ත්‍රිපිටකධරයන් නැති කල්හි ද්විපිටකධරයන් වෙතින් ද, ද්විපිටකධරයන් නැති කල්හි ඒක පිටකධරයන් වෙතින් ද, ඒක පිටකධරයන් නැති කල්හි අර්‍ථකථාචාර්‍ය්‍යයන් වෙතින් ද, අර්‍ථකථාචාර්‍ය්‍යයන් නැති කල්හි ධුතඞ්ගධරයන් වෙතින් ද සමාදන් විය යුතු. ධුතාඞ්ගධරයකු දු නැති කල්හි චෛත්‍ය මලුව හැමදැ උක්කුටිකයෙන් හිඳැ බුදුරජාණන් වහන්සේ ළඟ කියන්නාක් මෙන් කියමින් සමාදන් විය යුතුයි.

 

ධුතාඞ්ග වනාහි ඉබේ ම සමාදන් වුව ද වරද නැත. මිහින්තලේ සහෝදර ස්ථවිරයන් දෙනම අතුරෙන් වැඩි මහලු තෙරුන්ගේ ධුතඞ්ගප්පිච්ඡතා කථායෙන් එය පැහැදිලි වේ.

 

දෙ බෑ තෙරුන්ගේ කථාව

 

(මිහින්තලේ විහාරයෙහි සහෝදර ස්ථවිර දෙනමක් මධ්‍යම රාත්‍රියෙහි ස්වකීය ආසනයන්හි කථා කරමින් හුන්හ. එයින් වැඩිමහලු තෙරුන්නාන්සේ නෙසජ්ජිකඞ්ගය සමාදන් වූ කෙනෙක. එබැවින් උන්වහන්සේ සිය අසුනෙහි පළඟ බැඳගෙන උන්හ. හදිසියෙන් ගැසූ විදුලි එළියෙන් බාල තෙරුන්නාන්සේ එය දැක, “කිම? ස්වාමීනි! නෙසජ්ජීකදැ”යි විචාළෝ ය. වැඩිමහලු තෙරුන්නාන්සේ ස්වකීය ධුත ගුණය අඟවන්නට අකැමැති සේක් වහා සැතපී ගත්හ. පසු වැ එහි දී ම එය යළිත් සමාදන් වූහ. මෙයින් ධුතාඞ්ගයන් ඉබේ සමාදන් වුව ද නිවරද බව ප්‍ර‍කාශ වේ.)

 

ධුතාඞ්ග පිළිබඳ සාධාරණ විනිශ්චය යි.

 

මෙ තැන් පටන් එක එක ධුතාඞ්ගය පිළිබඳ වෙන් වෙන් වශයෙන් සමාදානය, විධානය, ප්‍රභේදය, භේදය, ආනිසංසය යන මොවුන් වර්‍ණනා කරම්හ.

 

පංසුකූලිකඞ්ග සමාදානය :-

 

පංසුකූලිකඞ්ගය සමාදන් වන්නහු විසින් “ගහපතිදාන චීවරං පටික්ඛිපාමි. පංසුකූලිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. “ගෘහපතීන් විසින් දෙන සිව්රු හැරැපියමි පංසුකූලිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථ යි.

 

පංසුකූලිකඞ්ග විධානය :-

 

පංසුකූලිකඞ්ගය සමාදන්වූවහු විසින් සෝසානිකය, පාපණිකය, රථියචොලය, සඞ්කාරචෝලය, සොත්‍ථිය, නහානචෝලය, තිත්‍ථචෝලය, ගතපච්චාගතය, අග්ගිදඩඨය, ගෝඛායිතය, උපචිකාඛායිතය, උන්‍දුරඛායිතය, අන්තචජින්නය, දසාච්ඡිනනය, ධජාහටය, ථූපචීවරය, සමණචීවරය, ආභිසෙකිකය, ඉද්ධිමයය, පන්ථිකය, වාතාහටය, දෙවදත්තිය, සාමුද්දිය යන මේ තෙවිසි වැදෑරුම් වස්ත්‍ර‍ අතුරෙන් යම්කිසි වස්ත්‍ර‍යක් ලබාගෙන කැබැලි කොට ඉරා අබල තැන් හැරැ සබල වූ කැබලි සෝදා සිවුර සාදා ගෙනැ පරණ ගෘහපති චීවරය හැරැ දමා පරිභෝග කළ යුතු යි.

 

තෙවිසි (23) වැදෑරුම් වස්ත්‍ර‍යන්ගේ ආකාර මෙසේ ය.

 

1.  සෝසානිකය - කිසිවක්හු විසින් සොහොන්හි දැමූ වස්ත්‍ර‍ය.

2.  පාපණිකය - කඩ සාප්පු ඉදිරියෙහි දැමූ හෝ වැටුණු වස්ත්‍ර‍ය.

3.  රථියචෝලය - පින් කැමැත්තවුන් විසින් කවුළුදොරින් වීථියෙහි ලූ වස්ත්‍ර‍ය.

4.  සඞ්කාරචෝලය - කසළගොඩ දැමූ වස්ත්‍ර‍ය

5.  සොත්‍ථිය - ස්ත්‍රීන්ගේ ගැබ් - මල පිසදමා ඉවත ලූ වස්ත්‍ර‍ය. (ඇතැම් පින් කැමැති ස්ත්‍රීහු ධුතඞ්ගධරයන් උදෙසා ම එසේ එබඳු වස්ත්‍ර‍ ඉවත දමත්.) තිස්ස නම් ඇමතියාගේ මව සියයක් අගනා වස්ත්‍ර‍යකින් ගැබ් - මල පිසදමා පංසුකූලිකයෝ ගනිත්වා යි තාළවේලි නම් වීථියෙහි ලාලූය. භික්‍ෂූන් එය ගත්තේ දිරාගිය තන්හි අණ්ඩා දැමීමට පමණ ය.

6.  නහානචෝලය - යකැදුරන් විසින් හිස පටන් නහවන ලද්දවුන් විසින් කාලකණ්ණිකඩය යි හැරැ දැමූ වස්ත්‍ර‍ය

7.  තිත්‍ථචෝලය - නහන තොට හැරැ දමා ලූ වස්ත්‍ර‍ය.

8.  ගතපච්චාගතය - සොහොනට ගිය මිනිසුන් විසින් ජල ස්නානය කොටැ දැමූ වස්ත්‍ර‍ය.

9.  අග්ගිදඩ්ඨය - ගින්නෙන් පිලිස්සීම නිසා හැරැ දැමූ වස්ත්‍ර‍ය. (එබඳු වස්ත්‍ර‍ මිනිස්සු නො හඳිත්.)

10.     ගෝඛායිතය - හරකුන් කෑ වස්ත්‍ර‍ය.

11.     උපචිකාඛායිතය - වේයන් කෑ වස්ත්‍ර‍ය.

12.     උන්දූරඛායිතය - මීයන් කෑ වස්ත්‍ර‍ය (මේ වස්ත්‍ර‍ ද මිනිස්සු නො හඳිත්)

13.     අන්නචඡිනනය - අග කඩාගිය වස්ත්‍ර‍ය.

14.     දසාච්ඡිනනය - දාවලු කඩාගිය වස්ත්‍ර‍ය.

15.     ධජහටය - නැව් නගින්නවුන් විසින් බඳනා ලද ධ්වජ වස්ත්‍ර‍ය (ඔවුන් නො පෙණී ගිය කල්හි ඒ වස්ත්‍ර‍ය ගනුත් වටී. යුද්‍ධ භූමියෙහි බඳින ලද ධ්වජ වස්ත්‍ර‍ය ද දෙසෙනඟ නිකුත් වැ ගිය කල ගනුත් වටී.)

16.     ථූපචීවරය - තුඹස්වල බලි කර්‍ම පිණිස බැඳි වස්ත්‍ර‍ය.

17.     සමණචීවරය - භික්‍ෂූන් සතු වස්ත්‍ර‍ය.

18.     ආභිසෙකිකය - රජුන් අභිෂේක කළ තන්හි දමා ගිය වස්ත්‍ර‍ය.

19.     ඉද්ධිමය - ඒහි භික්‍ෂු චීවරය.

20.     පන්ථිකය - අතර මඟ වැටුණු වස්ත්‍ර‍ය (ස්වාමීන් අතින් සිහිමුළාවෙන් වැටුණු වස්ත්‍ර‍ය ද මඳක් බලාගත යුතුයි.)

21.     වාතාහටය - සුළඟින් ගෙන ගිය වස්ත්‍ර‍ය (හිමියන් නොදක්නා කල්හි ගනුත් වටී.)

22.     දේවදතතිය - අනුරුද්ධි තෙරුන්ට මෙන් දෙවියන් දුන් වස්ත්‍ර‍ය.

23.     සාමුද්දිය - මුහුදු රළින් ගොඩ දැමූ වස්ත්‍ර‍ය.

 

(මේ තෙවිසි වස්ත්‍ර‍ අතුරෙන් යම් වස්ත්‍ර‍යකින් සිවුරු කොට පෙරවන්නට ධුතඞ්ගධරයන්ට වටනේ ය.

 

 

පංසුකූලිකයන්ට නුසුදුසු වස්ත්‍ර‍

 

“සඞ්ඝයාට දෙම්හ” යි දෙන ලද වස්ත්‍ර‍ ද, චෝලකභික්‍ෂාවෙන් හෙවත් රෙදි පිණ්ඩපාතයේ යෑමෙන් ලබන ලද වස්ත්‍ර‍ ද, පංසුකූලිකයන්ට නුසුදුසු ය. හෙවත් එබඳු වස්ත්‍ර‍ පංසුකූල නොවේ.

 

සමණ චීවර හෙවත් භික්‍ෂූන් සතු චීවර පංසුකූලිකයන්ට වටනේ යයි යට කියන ලදී. එහි දු වස්සග්ගයෙන් ගෙන දුන් සිවුර ඔවුනට නොවටනේ ය. වස්සගගයෙන් ගෙන දුන් සිවුර නම් සංඝයාට හෝ ගණයාට හෝ දෙන්නවුන් විසින් වස් පිළිවෙළින් දෙන ලද්ද යි.

 

සේනාසන චීවරය ද පංසුකූලිකයන්ට නො වටනේ ය. සේනාසන චීවර නම් සෙනසුන් කරවූවන් විසින් සෙනස්නෙහි වසනුවන් ම පරිභෝග කළ යුතු යයි දෙන ලද චීවරය යි. සඟින් නො පමුණුවා දෙන ලද්ද ම පංසුකූල වන බැව් දත යුතු යි. එහි දු මේ පහත දැක්වෙන විශේෂය සලකනු.

 

යම් වස්ත්‍රයෙක් දායකයන් විසින් යම් භික්‍ෂුවකගේ පාද මූලයෙහි තබන ලද්දේ ද, ඒ වස්ත්‍ර‍ය ඒ භික්‍ෂුව විසින් පංසුකූලික භික්‍ෂුවක ගේ අතෙහි තබා දෙන ලද්දේ නම් ඒ වස්ත්‍ර‍ය “එකතො සුද්ධික වස්ත්‍ර‍ය” වේ. (මෙහි එකතො සුද්ධිය නම් දායකයන්විසින් පාදමූලයෙහි තබා දීමෙන් ලද්ද යි. භික්‍ෂුව පංසුකූලිකයාගේ අතෙහි තිබීමෙන් දෙවන පක්‍ෂයෙන් සුද්ධිය නැති විය.)

 

යම් වස්ත්‍රයෙක් දායකයන් විසින් යම් භික්‍ෂුවක ගේ අතෙහි තබා දෙන ලද්දේ ද, ඒ භික්‍ෂුව විසින් ඒ වස්ත්‍ර‍ය ඉදින් පංසුකූලික භික්‍ෂුවක ගේ පාදමූලයෙහි තබා දෙන ලද්දේ ද එවිට ද එකතො සුද්ධිය වේ. (මෙහි එකතො සුද්ධිය නම් භික්‍ෂුව විසින් පංසුකූලිකයාගේ පාදමූලයෙහි තබා දීමෙන් ලද්ද යි. දායකයා භික්‍ෂුව ගේ අතෙහි තබා දීමෙන් මූල පක්‍ෂයෙන් සුද්ධිය නැති විය.)

 

දායකයන් විසින් භික්‍ෂුවකගේ පාදමූලයෙහි තබා දෙන ලද වස්ත්‍ර‍ය ඉදින් ඒ භික්‍ෂුව විසිනුදු පංසුකූලිකයා ගේ පාදමූලයෙහි තබා දෙන ලද්දේ නම් එවිට එය උභතො සුද්ධික වේ.

 

දායකයන් විසිනු දු භික්‍ෂුව ගේ අතෙහි තබා දෙන ලද්ද ඒ භික්‍ෂුව විසින් පංසුකූලිකයාගේ ද අතෙහි තබා දෙන ලද්දේ නම් එවිට එය උභතො සුද්ධියෙන් ම බැහැර වූයේ වෙයි. එබඳු වස්ත්‍ර‍ය උත්කෘෂ්ට නො වූ වස්ත්‍ර‍ය යි දත යුතුයි.

 

මෙසේ පංසුකූල භේද දැනැ ම පංසුකූලිකයා විසින් චීවර පරිභෝග කළ යුතු යි.

 

පංසුකූල පිළිබඳ විධානය යි.

 

පංසුකූලික ප්‍රභේද

 

පංසුකූලිකයෝ වනාහි උත්කෘෂ්ටය, මද්‍ධ්‍යමය, මෘදුකය යි තුන්වැදෑරුම් වෙත්. සොහොනෙහි ලු වස්ත්‍ර‍ ම ගෙන සිව්රු කොටැ ධරන්නේ උත්කෘෂ්ටය. ‘පැවිද්දෝ ගනිත්වා’යි යම් කිසිවකු විසින් තබන ලද්ද ගෙන ධරන්නේ මධ්‍යමය. පාමුල තබා දෙන ලද්ද ගෙන ධරන්නේ මෘදුකයි.

 

පංසුකූලික භේද

 

මේ ත්‍රිවිධ පංසුකූලිකයන් අතුරෙන් යම්කිසි පංසුකූලිකයෙක් ගිහින් විසින් දෙන ලද වස්ත්‍ර‍ය තමහට ඉවසුයේ නම් එකෙණෙහි ම ඔහුගේ පංසුකූලිකඞ්ගය බිඳෙන්නේ ය.

 

පංසුකූලිකානිසංස

 

“පංසුකුල චීවරං නිස්සාය පබ්බජ්ජා”[149] යනු වදාළ හෙයින් උපසම්පදා මාලකයෙහි දී තමා ප්‍ර‍තිඥා කළ නිස්සය ධර්‍මයට අනු වැ පිළිපදින බවය, පළමුවන ආර්‍ය්‍යවංශයෙහි පිහිටන බවය, චීවරය රැක ගැන්මෙන් වන දුකක් නැති බවය, අනුන් අයත් පැවැතුම් නැති බවය, සොර බියෙන් බිය නැති බවය, පරිභෝගයෙහි තෘෂ්ණා නැති බවය, ශ්‍ර‍මණ සාරුප්‍ය පිරිකර ඇති බවය, “අප්පග්ඝානිචෙව සුලභානි ච තානි ච අනවජ්ජානි”[150] පංසුකුල නො අගනේ ය. ඇමතන්හි ම ලද හැකි බැවින් සුලභය. හෙද නිරවද්‍යය’යි බුදුරජාණන් වහන්සේ පැසසූ ප්‍ර‍ත්‍යය ඇති බවය, ඇසූ දුටුවන් පහදින බවය, අල්පේච්ඡතාදි ගුණයන්ගේ ඵල නිපදන බවය, යහපත් ප්‍ර‍තිපත්තියක් වඩන බවය, පශ්චිම ජනතා සංඛ්‍යාත ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව දෘෂ්ටානු ගතියට පමුණුවන බවය යන මේ පංසුකුලිකඞ්ග ධැරීමෙහි ආනිසංස වේ.

 

“මාරසෙන විඝාතාය - පංසුකුල ධරො යති

සන්නද්ධ කුවචො යුදෙධ - ඛත්තියො විය සොහති”

 

“කෙලෙස් මරසෙන් වනසනු පිණිස පංශුකූල චීවරධාරී භික්‍ෂු තෙම යුද්ධයෙහි සන්නාහ සන්නද්ධ ක්‍ෂත්‍රිය කුමාරයකු මෙන් බබළන්නේ ය.”

 

“පහාය කාසිකාදීනි - වරවත්‍ථානි ධාරිතං

යං ලොකගරුනා කො තං - පංසුකූලංන ධාරයෙ”

 

“කසී සළු ආදි අගනා පිළි හැරපියා ත්‍රෛලොක්‍යාචාර්‍ය්‍යයන් වහන්සේ විසින් යම් පවුල් සිවුරක් පොරෝනා ලද්දේ ද, ඒ පවුල් සිවුර කවරෙක් නම් නො ධරන්නේ ද” (පවුල් නම් පංසුකූලයි.)

 

“තස්මා හි අත්තනො භික්ඛු - පටිඤ්ඤං සමනුස්සරං

යොගචාරානුකූලම්හි - පංසුකුලෙ රතො සියා”

 

“එහෙයින් ම උපසම්පදා මාලකයෙහි දී තමන් දුන් ප්‍ර‍තිඥාව සිහිකරන භික්‍ෂු තෙමේ යොගාචාරානුරූප වූ පංසුකූලයෙහි ඇලෙන්නේ ය.”

 

පංසුකූලිඞ්ගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද

භේදානිසංස වර්‍ණනා යි.

 

තෙචීවරිකඞ්ග සමාදානය.

 

තෙචීවරිකඞ්ගය සමාදන් වන්නහු විසින් “චතුත්‍ථක චීවරං පටික්ඛිපාමි. තෙචීවරිකඞ්ගයං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතුයි. ‘සතර වන සිවුරු ප්‍ර‍තික්‍ෂෙප කරමි තෙචීවරිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි.

 

තෙචීවරිකඞ්ග විධානය.

 

තෙචීවරිකඞ්ගය සමාදන්වූවහු විසින් සිව්රු පිණිස වස්ත්‍ර‍ ලත් කල්හි අපහසු නිසා හෝ සිව්රුකර දෙන්නකු නැති නිසා හෝ හිදි ආදි උපකරණ නො ලත් නිසා හෝ ඒ වස්ත්‍ර‍ය තැන්පත් කොට තැබිය යුතු යි. එසේ තැබීමෙන් දෝෂයෙක් නැති. සිවුර කොට පඬු ගැසු කල් පටන් එසේ තබා ගන්නට නො වටනේ ය. ඉදින් තබා ගතහොත් ධුතාඞ්ගචෞර වන්නේ ය.

 

තෙචීවරික ප්‍රභේද

 

තෙචීවරික ද වනාහි උත්කෘෂ්ටය, මධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටයා විසින් සිව්රු පඬු පොවන කල අඳනය හෝ උත්තරාසඞ්ගය හෝ පළමු කොට පඬු පොවා ඉන් එකක් හැඳැ ගෙන පසු ව අනෙක පඬු පෙවිය යුතු යි. ඉන් එකක් පොරවා ගෙන සංඝටීය පඬු පෙවිය යුතු. සංඝටිය හැඳැගැන්ම නුසුදුසු යි. මේ දැක්වුණේ ග්‍රාමන්ත සේනාසනයෙහි වසන තෙචීවරිකයා පිළිබඳ වත බව දත යුතු යි. අරණ්‍යයෙහි වසන තෙචීවරිකයා හට හඳනය හා උත්තරසඞ්ගය යන දෙක ම එක විට පඬු පොවත හැකි ය. ඉදින් කිසිවෙක් හදිසියෙන් ආයේ නම් සිව්ර හැඳැ පොරවා ගන්නට හැකි තරම් ආසන්නයෙහි සිටිය යුතු යි.

 

මධ්‍යමයාට වනාහි පඬු ශාලායෙහි තබා තිබෙන හැඳැ ගෙන හෝ පෙරවැ ගෙන සිව්රු රඳන්නට වටනේ ය. (පඬුහල්හි පඬු පොවන්නන් ගේ ප්‍රයෝජනය සඳහා එ බඳු සිව්රු ඇති බැව් දත යුතුයි.)

 

මෘදුකයාට සභාග භික්‍ෂුන් ගේ සිව්රු හැඳැ ගෙන හෝ පෙර වැ ගෙන සිව්රු  රඳන්නට වටනේ ය. එහි තිබෙන පසතුරුණක් හෝ හැඳැ ගත වටනේ යත එහෙත් එබන්ද නිත්‍ය පරිභෝගයට නුසුදුසු යි. මේ මෘදුකයා හට අතරින් පතර සභාග භික්‍ෂුන් ගේ සිව්රු ද පරිභෝග කළ හැකියි.

 

තෙචීවරික භේද

 

තෙචීවරික හට වටිතොත් වටින්නේ තුන් රියන් දික් එක් රියන් පුළුල් දත්කඩෙක් (අංසකඩක්) පමණෙකි. ඒ හැර අන් සතර වන සිව්රක් ඉවසු කෙණෙහි ඔහුගේ අඞ්ගය බිඳෙන්නේ ය.

 

තෙචීවරිකානිසංස

 

තෙචීවරික භික්‍ෂු වනාහි හඳනා පොරෝනා චීවර මාත්‍රයෙකින් සතුටු වන බැවින් පක්‍ෂියකුට සේ තම සතු තුන් සිව්ර ගෙන කැමැති දිසාවෙක යා හැකි බව ය, ස්වල්ප කෘත්‍ය ඇති බව ය, වස්ත්‍ර‍ සන්නිධි නැති බව ය, (වස්ත්‍ර‍ සන්නිධි නම් පසුව ප්‍රයෝජන ගැන්ම සඳහා වස්ත්‍ර‍ එකතු කොට තබා ගැන්මය.) සැහැල්ලු පැවතුම් ඇති බව ය, අධික සිව්රු උදෙසා ලෝභ නො කරන බව ය. සිව්රු ද පමණ ගන්නා බව ය, කෙලෙස් ලියාලන පැවතුම් ඇති බවය, අල්පේච්ඡතාදීන් ගේ ඵල නිපදවන බවය යනාදි ආනිසංස තෙචීවරිකඞ්ග ධැරීමෙහි වන්නේ ය.

 

“අතිරෙකවත්‍ථ තණහං - පහාය සන් නිධිවවජ්ජිතො ධීරො

සන්තොස සුඛරසඤ්ඤු - තිවීවරධරො භවති යොගි”

 

“අතිරේක වස්ත්‍ර‍යන්හි තෘෂ්ණාව හැරැපියා වස්ත්‍ර‍ සන්නිධියෙන් තොර වූ ධීර යෝගාවචර තෙම සන්තෝස සුඛයෙහි රස දන්නේ තෙචීවරිකඞ්ගය ධරන්නේ ය.

 

“තස්මා සපත්ත චරණො - පක්ඛීව සවීවරොව යොගිවරො

සුඛමනුචිවරිතුකාමො - චීවර නියමෙ රතිං කයිරා”.

 

“එහෙයින් පියාපත් සහිත පක්‍ෂියකු මෙන් තුන්සිව්රු ධර යෝගාවචර තෙම සැපසේ හැසිරෙනු කැමැත්තේ චීවර නියමයෙහි ඇලුම් කරන්නේ යි.”

 

තෙචීවරිකඞ්ගය පිළිබඳ සමාදාන - විධාන - ප්‍රභේද

භේදානිසංස වර්‍ණනා යි.

 

පිණ්ඩපාතිකඞ්ග සමාදානය

 

පිණ්ඩපාතිකඞ්ගය සමාදන් වන්නහු විසින් “අතිරෙක ලාභං පටික්ඛපාමි. පිණ්ඩපාතිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතුයි. ‘අතිරෙක ලාභ හැරපියමි. පිණ්ඩපාතිකඞ්ගය සමාදන් වෙමි.’ යනු එහි අර්‍ථයි.

 

පිණ්ඩපාතිකඞ්ග විධානය

 

පිණ්ඩපාතිකඞ්ගය සමාදන් වූවහු විසින් සංඝභත්තය, උදේදස භත්තය, නිමන්තනය, සලාක භත්තය, පක්ඛිකය, උපොසථිකය, පාටිපදිකය, අගන්තුක භත්තය, ගමික භත්තය, ගිලාන භත්තය, ගිලානුපට්ඨාන භත්තය, විහාර භත්තය, ධුර භත්තය, වාර භත්තය යන තුදුස් බත් නො ඉවසිය යුතු.

 

තුදුස් බත්

 

1.  සංඝභත්තය - සංඝයාට දෙනු ලබන බත.

2.  උද්දසභත්තය - භික්‍ෂූන් කීප දෙනෙකු උදෙසා දෙනු ලබන බත.

3.  නිමන්තනය - සංඝයාට හෝ පුද්ගලයාට හෝ නිමන්ත්‍ර‍ණය කොට දෙනු ලබන බත.

4.  සලාකභත්තය - සලාකාලීමෙන් දෙනු ලබන බත.

5.  පක්ඛිකභත්තය - සැදැහැවතුන් විසින් පක්‍ෂයකට වරක් දෙනු ලබන බත.

6.  උපොසථිකය - පොහොය පොහොය දෙනු ලබන බත.

7.  පාටිපදිකය - පෑලවියෙහි දෙනු ලබන බත.

8.  ආගන්තුකභත්තය - ආගන්තුක භික්‍ෂූන්ට දෙනු ලබන බත.

9.  ගමිකභත්තය - ගමන් යන්නට සූදානම් භික්‍ෂූන්ට දිය යුතු බත.

10.     ගිලානභත්තය - ගිලනුන්ට දිය යුතු බත.

11.     ගිලානුපට්ඨානභත්තය - ගිලනුන්ට උපස්ථාන කරනුවන්ට දිය යුතු බත.

12.     විහාරභත්තය - සැදැහැතියන් විසින් ඔවුන් කළ වෙහෙර වසනුවන්ට දෙනු ලබන බත.

13.     ධුරභත්තය - සංඝයාට හෝ පුද්ගලයන්ට හෝ ‘ධුර බත් දෙමි’යි නිතර දෙන බත.

14.     වාරභත්තය - ගම්වැසි ආදීන් වාරයෙන් වාරය දෙන බත.

 

“සඟ බත ගත මැනව” යනාදි වශයෙන් නො කියා “අපේ ගෙයි සංඝයා දන් වළඳති. ඔබ වහන්සේ ද භික්‍ෂාව ගත මැන වැ”යි කියන ලද නම් ඉවසීම වටනේ ය. සංඝයා කෙරෙන් ලැබෙන නිරාමිස සලාකා ද විහාරයෙහි පිසන බත ද ගන්නට වටනේම ය. නිරාමිස සලාකා නම් යාවකාලිකය හැරැ සෙසු තුන් කාලික පිළිබඳ සලාකායි.

 

පිණ්ඩපාතිකඞ්ග ප්‍රභේද

 

පිණ්ඩපාතික ද උත්කෘෂ්ටය, මධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ට පිණ්ඩපාතික වනාහි ඉදිරියෙන් ද, පස්සෙන් ද ගෙනෙන පිණ්ඩපාතය ගන්නේ ය. සම්මුඛ වූ ගෘහද්වාරයෙහි සිට ඉල්ලා ගන්නවුන්ට පාත්‍ර‍ය ද දෙන්නේ ය. පාත්‍ර‍ය බොජුන්හලට ගෙන ගොස් දෙන පිණ්ඩපාතය ද ගන්නේ ය. “ස්වාමීනි! අද පිණ්ඩපාතයේ නො වැඩිය මැනව. වෙහෙරට ම භික්‍ෂාව ගෙනෙම්හ”යි කියන උපාසකයන්ගේ බස් ඉවසා එ දවසේ හිඳ ආහාර නො ගන්නේ යි.

 

මධ්‍යම වනාහි එසේ එ දවසට දෙන පිණ්ඩපාතය විහාරයෙහි හිඳ ද ගන්නේ ය. සෙට දවසට එබන්ද නො ඉවසන්නේ ය.

 

මෘදුක වනාහි සෙට දවසට ද, මතු දවසට ද එබන්ද ඉවසන්නේ ය. මෙයින් මධ්‍යම - මෘදුක දෙදෙන රිසි සේ විහරණ සුවය නො ලබන බව ද, උත්කෘෂ්ටයා ම එය ලබන බව ද දත යුතු යි.

 

(ඒ සඳහා කථාවක් මෙසේ ය.)

 

එක් ගමෙක මහා ආර්‍ය්‍යවංශ සූත්‍රයෙන් ධර්‍මදේශනාවෙකි. “අපි දු බණ අසන්නට යම්හ”යි උත්කෘෂ්ට පිණ්ඩපාතික භික්‍ෂූන් වහන්සේ සෙසු දෙනමට ඇමතූ සේක. “ස්වාමීනි! අද භික්‍ෂාව පිණිස එක මිනිසකු විසින් මම හිඳුවන ලදිමි”යි එක නමෙක් කීය. අනෙක් නම ද “ස්වාමීනි! හෙටට පිළිගත් භික්‍ෂාවක් ඇතැ”යි කීයේ ය. මෙයින් ඒ දෙනම ම ධර්‍මරසයෙන් පිරිහුණේ ය. උත්කෘෂ්ට වනාහි උදෑසනක් සේම පිඬු පිණිස හැසිරැ ගොස් ධර්‍මරසය වින්දේ යි.

 

පිණ්ඩපාතිකඞ්ග භේද.

 

සංඝභත්තාදි අතිරේක ලාභ ඉවසූ කෙණෙහි මේ තුන් නමගේ ම පිණ්ඩපාතිකඞ්ගය බිඳෙන්නේ ය.

 

පිණ්ඩපාතිකඞ්ගානිසංස

 

පිණ්ඩියාලොපභොජනං නිස්සාය පබ්බජ්ජා”[151] යනු වදාළ හෙයින් උපසම්පදා මාලකයෙහි දී ප්‍ර‍තිඥා කළ නිඃශ්‍ර‍යානුකූල වූ ප්‍ර‍තිපත්ති ඇති බවය, දෙවන ආර්‍ය්‍යවංශයෙහි පිහිටන බවය, අනුන් අයත් පැවතුම් නැති බව, “අප්පග්ඝානි චෙව සුලභානි ච තානි ච අනවජ්ජානි”[152] යි බුදුන් වහන්සේ පසස්නා ලද ප්‍ර‍ත්‍යය ඇති බවය, කුසීත බව මැඩපියන බවය. පිරිසිදු දිවිපෙවෙත් ඇති බවය, සේඛියාහි වදාළ පිළිවෙත් පිරෙන බවය, අනුන් විසින් පෝෂණය නො කරනු ලබන බවය, අනුනට අනුග්‍ර‍හ කරන බවය, “අන්තමිදං භික්ඛවෙ ජීවිකානං යදිදං පිණ්ඩොල්‍යං”[153] යනු වදාළ හෙයින් අන්තිම ජීවිකායෙහි පිහිටි බැවින් මානය දුරුවන බවය, මිශ්‍රාහාරයෙන් යැපෙන බැවින් රසතෘෂ්ණාව වැළකෙන බවය, ගණභොජන[154] පරම්පරභොජන[155] චාරිත්ත[156] යන ශික්‍ෂාපදයන්ගෙන් ඇවැත් නොවන බවය, (මේ ශික්‍ෂාපදයන්ගේ භාවය ප්‍රාතිමෝක්‍ෂයෙන් දැනගත යුතු.) අල්පේච්ඡතාදි ගුණයන්ට අනුලොම් වැ පවතින බවය, යහපත් පිළිවෙත් වැඩෙන බවය, පශ්චිම ජනතාවට අනුකම්පා කරන බවය යනු පිණ්ඩපාතිකයාගේ ආනිසංස යි.

 

“පිණ්ඩියාලොප සන්තුට්ඨො - අපරායත්ත ජීවිකො

පහීණාහාරලොලුප්පො - හොති චාතුද්දිසො යති,

විනොදයති කොසජ්ජං - ආජීවස්ස විසුජ්ඣති

තස්මාහි නාතිමඤ්ඤෙය්‍ය - භික්ඛාචරියං සුමෙධසො”

 

“පිණ්ඩපාත භෝජනයෙන් සතුටු වූ අනුන් අයත් ජීවිකා නැත්තා වූ ප්‍ර‍හීණ කළ ආහාර තෘෂ්ණා ඇත්තා වූ භික්‍ෂු තෙම සිව් දිසාවට ම සුදුස්සෙක් වන්නේ ය. හෙතෙම කුසීත බව දුරු කරයි උහුගේ ආජීවය පිරිසිදු යි. එහෙත් ප්‍රාඥ භික්‍ෂු පිණ්ඩපාතචර්‍ය්‍යාව නො ඉක්මවන්නේ යි”

 

“මේ පිණ්ඩපාතික මහණ වනාහි ඉදින් ලාභ කීර්‍තතිකාමී නො වේ නම් තමා ම පෝෂණය කරන්නා වූ අන්‍යයන් පෝෂණය නො කරන්නා වූ තාදී ගුණ ඇති ඒ භික්‍ෂු හට දෙවියෝ ද සතුටු වෙත්” වදාළේ මැයි. උදානයෙහි:-

 

 “පිණ්ඩපාතිකස්ස භිකඛුනො

අත්තභරස්ස අනඤ්ඤපොසිනො

දෙවා පිහයන්ති තාදිනො

නො චෙ ලාභසිලොක නිස්සිතො”[157] යි.

 

පිණ්ඩපාතිකඞ්ගය පිළිබඳ සමාදාන, විධාන, ප්‍රභේද

භේදානිසංස වර්ණනා යි.

 

සපදානචාරිකඞ්ග සමාදානය.

 

සපදානචාරිකඞ්ග සමාදන් වන්නාහු විසින් “ලොලුප්ප චාරං පටික්ඛිපාමි. සපදානචාරිකඞ්ගං සමාදියාමි.” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘තෘෂ්ණාදියෙන් ගෙපිළිවෙළ ඉක් මැ පිද්‍ධු සිඟීම හැරැ පියමි. සපදානචාරිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි.

 

සපදානචාරිකඞ්ග විධානය

 

සපදානචාරිකඞ්ගය සමාදන් වූවහු විසින් පිණ්ඩපාතයේ යාම සඳහා ගම්දොරට පැමිණ එහි සිට උපද්‍ර‍ව නැති බව සැලකිය යුතු. යම් ගමෙක හෝ වීථියෙක උපද්‍ර‍ව ඇත්නම් ඒ ගම හෝ වීථිය හැර අන් තැනෙක යා යුතු. යම් ගෙයක හෝ වීථියෙක හෝ ගමෙක හෝ කිසිවක් නො ලැබේ නම් එය ගෙය නොවේ ය යි සලකා යා යුතු. යම් තැනෙක ලැබේ නම් එය හැරැ නො යා යුතු. මෙසේ හෙයින් කල් ඇති වැ පිඬු පිණිස යා යුතු බව සැලකිය යුතුයි. කල් ඇති වැ ගිය කල්හි අපහසු තැන් හැරැපියා යා හැකි බැවිනි. ඉදින් විහාරයෙහි දන් දෙන්නේ හෝ අතරමඟ මනුෂ්‍යයෝ හෝ පාත්‍ර‍ය ගෙන පිණ්ඩපාතය දෙත් නම් එය ගත යුතුයි. කියයුත්තෙක් ඇති. මඟ යන සපදාන චාරික භික්‍ෂුව භික්‍ෂාචාර වේලාව පැමිණ කල් හි ඒ පැමිණි ගම නො යික් මැ පිඬු පිණිස හැසිරිය යුතු. ඒ ගමෙහි කිසිවක් නො ලද්දේ නම් ලද දේ යැපීමට මඳ නම් ගම් පිළිවෙළින් යා යුතුයි.

 

සපදානචාරිකඞ්ග ප්‍රභේද

 

සපදානචාරික වනාහි උත්කෘෂ්ටය, මද්ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ට වනාහි පෙරටුවෙන් හා පස්සෙන් ගෙනෙන ලද්දා වූ ද භෝජනශාලාවට ගෙනවුත් දෙනු ලබන්නා වූ ද භික්‍ෂාව නො ගන්නේ ය. යම් ගෙදොරතට පැමිණියේ නම් ඒ ගෙදර දී ඉල්ලාගන්නවුන්ට පාත්‍ර‍ය දෙන්නේ ය. මේ ධුතාඞ්ග පූරණයෙහි මහා කාශ්‍යප ස්වාමි සමානයෙක් නැත. උන්වහන්සේ පේසකාර විථියෙහි දී දුප්පත් වෙසින් සිටි සක්දෙව්රද හට පාත්‍ර‍ය දුන් සේක.

 

මද්ධ්‍යම වනාහි පෙරටුයෙන් හා පස්සෙන් ගෙනෙන ලද භික්‍ෂාව ද, භෝජන ශාලාවට ගෙනවුත් දෙනු ලබන භික්‍ෂාව ද පිළිගන්නේ ය. පැමිණි ගෙදොර දී ඉල්ලන්නවුන්ට පාත්‍ර‍ය ද දෙන්නේ ය. එතකුදු වුවත් භික්‍ෂාව බලාපොරොත්තු වෙමින් නො හිඳින්නේ ය. මෙයින් මේ මධ්‍යමයා ද උත්කෘෂ්ටයාට අනුලොම් වන බව දත යුතුයි.

 

මෘදුක වනාහි එ දවස වැඩ හිඳ භික්‍ෂාව බලාපොරොත්තු වන්නේ ය.

 

සපදානචාරිකඞ්ග භේද

 

මේ තුන් නමගේ ම ලොලුප්පචාරය ඉපිදැ ගෙපිළිවෙළ හැරපී ඇසිල්ලේ අඞ්ගය බිඳෙන්නේ ය.

 

සපදානචාරිකඞ්ගානිසංස

 

කිසි කුලයකටත් නිතර නො එළඹෙන බැවින් ඇමකල ම කුලයන්හි අලුත් බව ය, කිසි තැනෙකත් ලග්න නොවන බැවින් හා සෞම්‍ය බැවින් සඳ බඳු බවය. කුල මච්ඡරිය නැති බවය. සම අනුකම්පා ඇති බවය. කුලයක් කරා නො එළඹෙන බැවින් කුලුපක ආදීනව නැති බවය. ආරාධනා ලැබීමෙන් සතුටු නො වන බව ය. භික්‍ෂාව ගෙනත් දීමෙන් ප්‍රයෝජන නැති බවය. අල්පේච්ඡතාදි ගුණයන්ට අනුලොම් වන බවය යන මේ ආනිසංස සපදානචාරිකයාට වන්නේ යි.

 

“චන්‍දුපමො නිච්චනවො කුලෙසු-අමච්ඡරී සබ්බසමානුකම්පො

කුලුපකාදීනව විප්පමුත්තො-හොතීධ භික්‍ඛු සපදානචාරී

ලොලුප්පචාරංව පහාය තස්මා-ඔක්ඛිත්තචක්ඛු යුගමත්තදස්සී

ආකංඛමානො භුවි සෙරි  චාරිං-චරෙය්‍ය ධීරො සපදානචාරී.”

 

“මේ සාසනයෙහි සපදානචාරී භික්‍ෂු තෙම චන්‍ද්‍ර‍යා බඳු වූයේ කුලයෙහි ඇම කල්හි ම අලුත් ය. නො මසුරු ය. සියල්ලන් කෙරෙහි සම අනුකම්පා ඇත්තෙ ය. කුලුපක ආදීනවයෙන් මිදුණේ ය.

 

එහෙයින් ලොල් බැවින් ගෙ පිළිවෙළ ඉක් මැ සිඟීම හැරපියා යට හෙළා ලූ ඇස් ඇති වැ - වියදඬු පමණ බලමින් ලෝකයෙහි රිසි සේ විහරණ කැමැති ප්‍රාඥ තෙමේ සපදානචාරිකඞ්ගය පුරන්නේ යි.”

 

සපදානචාරිකඞ්ගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද-භේදානිසංස වර්ණනා යි.

 

ඒකාසනිකඞ්ග සමාදානය

 

ඒකාසනිකඞ්ගය සමාදන් වන්නහු විසින් “නානාසන භොජනං පටික්ඛිපාමි. එකාසනිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍ය්‍යක් කියා සමාදන් විය යුතු. “නොයෙක් අසුන්හි හිඳැ වැළඳීම හැරැ පියමි ඒකාසනිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි.

 

ඒකාසනිකඞ්ග විධානය

 

ඒකාසනිකඞ්ගය සමාදන් වූවහු විසින් වළඳනු සඳහා ආසන සාලයෙහි හිඳ ගන්නේ නම් ථේරාසනයෙහි නොහිඳ තමහට සුදුසු ආසනයක් ගෙන හිඳ ගත යුතුයි. ඉඳින් වළඳන අතර ආචාර්‍ය්‍ය උපාධ්‍යායන් වහන්සේ අවු නම් නැඟිටැ වත් පිළිවෙත් කළ යුතු. ත්‍රිපිටක චූලාභය ස්ථවිරයෝ ද මේ මෙසේ ම ස්ථිර කරත්.

 

ඒකාසනිකඞ්ග ප්‍රභේද

 

ඒකාසනිකඞ්ග ද උත්කෘෂ්ටය, මධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ට වනාහි ස්වල්ප වේවා බොහෝ වේවා යම් භෝජනයකට අත ගැසුයේ නම්, එයින් අන්‍යයක් නො වළඳන්නේ ය. “ස්වාමීන් වහන්සේ කිසිවක් නො වැළඳුවෝ’ යයි මිනිස්සු ගිතෙල් ආදීහු දුන්නු නම් බෙහෙත් පිණිස විනා අහර පිණිස ඒ නො ගන්නේ ය.

 

මධ්‍යම වනාහි පාත්‍රයෙහි භෝජන නිම නොවන තෙක් ලැබෙන දේ ගන්නේ ය, එහෙයින් හෙතෙමේ භෝජන පරියත්තිකය යි කියනු ලැබේ. (වළඳා අවසන් වනතාක් ලැබෙන බොජුන් වළඳන බැවිනි.)

 

මෘදුක වනාහි ආසනයෙහි හිඳින තාක් ලැබෙන භෝජන වළඳන්නේ ය. ඔහුට උදකපරියන්තිකය යි කියනු ලැබේ. පාත්‍ර‍ය සෝදන ජලය නො ගන්නා තාක් වළඳන බැවිනි. තව ද ඔහුට ම ආසනපරියන්තිකය යි ද කියනු ලැබේ. ආසනයෙන් නො නැගිටින තාක් වළඳන බැවිනි.

 

අන් ආසනයෙක හිඳැ වැළඳු ඇසිල්ලෙහි මේ තුන් නමගේ ම ධුතඞ්ගය බිඳෙන්නේ ය.

 

ඒකාසනිකඞ්ගානිසංස

 

නීරෝග බවය, ශරීර දුක් නැති බවය, සැහැල්ලු පැවතුම් ඇති බවය, කාය බලය ඇති බවය, සුවසේ වසන බවය, අතිරිත්ත විනය කර්‍මය නො කළ භෝජන වැළඳීමෙන් වන ඇවැත් සිදු නො වන බවය, රස ගේධ දුරු කරන බවය, අල්පේච්ඡතාදි ගුණයන්ට අනුලොම් වන බවය යන මේ ආනිසංස ධුතඞ්ගධරයාට ලැබෙන්නේ ය.

 

“එකාසනභොජනෙ රතං - න යතිං භෝජන පච්චයා රුජා

විසහන්ති රසෙ අලොලුපො-පරිහාපෙති න කම්මමත්තනො

ඉති ඵාසු විහාර කාරණෙ - සුචිසල්ලෙඛ රතුපසෙවිතෙ

ජනයෙථ විසුද්‍ධමානසො-රති මෙකාසන භොජනෙ සදා.”

 

“භෝජන හේතුවෙන් වන රෝග ඒකාසනිකඞ්ගයෙහි නියැලුණු මහණනු නො පෙළන්නේ ය. රසගෙධ රහිත වූ හෙතෙම ස්වකීය කර්‍ම ද නො පිරිහෙළා ගන්නේ ය.

 

එ බැවින් සැප විහරණයට හේතු වූ පිරිසිදු සැහැල්ලු ගුණෙහි ඇලුණුවන් විසින් සෙව්නා ලද්දා වූ ඒකාසන භෝජනයෙහි පිරිසිදු සිත් ඇති මහණ ඇමකල්හි ඇලුම් කරන්නේ යි”

 

ඒකාසනිකඞ්ගය පිළිබඳ සමාදාන- විධාන- ප්‍රභේද

භෙදානිසංස වර්ණනා යි.

 

පත්තපිණ්ඩිකඞ්ග සමාදානය

 

පත්තපිණ්ඩිකඞ්ගය සමාදාන් වන්නහු විසින් “දුතියක භාජනං පටික්ඛිපාමි. පත්තපිණ්ඩිකඞ්ගං සමාදියාමි” යන වාක්‍ය දෙකින් අභිමත වාක්‍ය්‍යක් කියා සමාදන් විය යුතු. “දෙවන භාජන හැරැ පියමි. පත්තපිණ්ඩිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි.

 

පත්තපිණ්ඩිකඞ්ග විධානය

 

පත්තපිණ්ඩිකඞ්ගය සමාදන් වූවහු විසින් කැඳ වළඳන විට භාජනයෙක තබා යම් කිසි ව්‍යඤ්ජනයෙක් ලබන ලද්දේ නම් එය හෝ කැඳ හෝ පළමු කොට වැළඳිය යුතුයි. මේ කියන ලද්දේ කැඳෙහි ලූ කල පිළිකුල් ඉපදෙන මස් ආදිය සඳහා ය. කැඳෙහි ලූ කල පිළිකුල් නොවන මී සකුරු ආදියෙක් නම් කැඳෙහි බහා ලා ම වැළඳිය යුතු. එබන්දක් පිළිගන්නා කල්හි ද ප්‍ර‍මාණයෙන් ම පිළිගත යුතු. (එක භාජනයෙහි ම ගනිමි යි බොහෝ කොට නො ගත යුතුයි.) මිරිස් ආදි අමු දෙයක් නම් අතින් ගෙන වැළඳුවත් නො වටනේ නොවේ. එතෙකුදු වුවත් එය ද පාත්‍රයෙහි බහාගත යුතු. දෙවන භාජන ප්‍ර‍තික්‍ෂේප කළ බැවින් පත්කොළ ද නුසුදුසු බව දත යුතුයි.

 

පත්තපිණ්ඩිකඞ්ග ප්‍රභේද

 

පත්තපිණ්ඩිකඞ්ග ද වනාහි උත්කෘෂ්ටය, මද්‍ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටහට උක්සප විනා අන්කිසි රොඩුවකු දු බැහැර ලන්නට නො වටනේ ය. බත්පිඬු, මත්ස්‍ය, මාංස හා කැවුම් පවා කඩා කන්නට නොවටනේය. (පළමු කොට  ඒ සියල්ල වළඳන පමණට පිළියෙල කර ගත යුතු.) මද්‍ධ්‍යමහට එක අතකින් කඩා කන්නට වටනේ ය. එහෙයින් ඔහුට හස්තයෝගී යයි කියනු ලැබේ. මෘදුකහට පාත්‍රයෙහි බහා ගත හැකි කවර දෙයක් වුව ද අතින් හෝ දතින් කඩා කන්නට වටනේ ය. එහෙයින් ඔහුට පාත්‍රයෝගී යයි කියනු ලැබේ.

 

පත්තපිණ්ඩිකඞ්ග භේද

 

දෙවන භාජනයක් ඉවසූ ඇසිල්ලෙහි මේ තුන් නමගේ ම ධුතඞ්ගය බිඳෙන්නේයි.

 

පත්තපිණ්ඩිකඞ්ගානිසංස

 

නානා රස වැළඳීමෙහි තෘෂ්ණා දුරු කරන බවය, අත්‍රිච්ඡතා දුරු කරන බවය, ආහාර වැළඳීමෙන් දිවි රැක ගන්නා ප්‍රයෝජනය පමණක් සලකන බවය. ථාලකාදී (පිඟන්) පරිහරණයෙන් කරදර නැති බවය, නානා භාජන ගත වූ ව්‍යඤ්ජනයෙහි එක භාජන ගත සංඥා ඇති බැවින් අවික්‍ෂිප්ත වූ භෝජන ඇති බවය, අල්පේච්ඡතාදි ගුණයන්ට අනුලොම් වන බවය, යනු මේ ධුතාඞ්ග ධාරණයෙහි ආනිසංස යි.

 

“නානා භාජනවික්ඛෙපං - හිත්‍වා ඔක්ඛිත්තලොචනො

ඛණන්තො විය මූලානි - රසතණ්හාය සුබ්බතො,

සරූප විය සන්තුට්ඨිං - ධාරයන්තො සුමානසො

පරිභුඤ්ජෙය්‍ය ආහාරං - කො අඤ්ඤො පත්තපිණ්ඩිකා”

 

“නොයෙක් භාජන ගත වූ වික්‍ෂේපය හැරැ පියා පත්තසඤ්ඤායෙන් යට හෙළා ලූ ඇස් ඇති, රස තෘෂ්ණායෙහි මුල් සාරන්නක්හු මෙන් යහපත් ව්‍ර‍ත ඇති, මූර්‍තතිමත් සන්තෝෂය ධරන්නකු බඳු යහපත් සිත් ඇති, පත්තපිණ්ඩිකයා මිස අන් කවරෙක් අහර වළඳන්නට සමර්‍ථ වන්නේ ද?”

 

පත්තපිණ්ඩිකාඞ්ගය පිළිබඳ සමාදාන- විධාන- ප්‍රභේද

භෙදානිසංස වර්ණනා යි.

 

ඛලුපච්ඡාභතතිකඞ්ග

 

සමාදානයඛලුපච්ඡාභත්තිකඞ්ගය සමාදන් වන්නහු විසින් “අතිරිත්ත භොජනං පටික්ඛිපාමි. ඛලුපච්ඡාභත්තිකඞ්ගං සමාදියාමි.” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. “පවාරණ වීමෙන් පසු වැළඳිය හැකි අතිරිත්ත භෝජනය හැරැ පියමි. ඛලුපච්ඡාභත්තිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි.

 

ඛලුපච්ඡාභත්තිකඞ්ග විධානය

 

ඛලුපච්ඡාභත්තිකඞ්ගය සමාදන් වූවහු විසින් පවාරණය වූ විට නැවැත භෝජනය කැප කොට ගෙන නො වැළඳිය යුතුයි. (උපසපන් භික්‍ෂු වළඳමින් සිට අත්පසට ගෙනා බත් ආදිය ප්‍ර‍තික්‍ෂේප කෙළේ නම් පවාරණය වේ. එහෙයින් ඒ ආසනයෙන් නැගිට නැවත වැළඳුව හොත් ආපත්ති සිද්‍ධ වේ. ඉදින් අන්‍ය භික්‍ෂුවක් විසින් ඉතිරි කොට දෙන ලද්දක් වැළඳුව හොත් ආපත්ති නොවේ. එසේ ඉතිරි කිරීම ද වාක්‍යයෙකින් කරනු ලැබේ. ඛලුපච්ඡාභත්තිකඞ්ගය සමාදන්ව ගත් භික්‍ෂුහට එසේ ඉතිරි කර දෙන ලද්ද ද වළඳන්නට නො වටනේ ය.)

 

ඛලුපච්ඡාභත්තිකඞ්ග ප්‍රභේද

 

මේ ද උත්කෘෂ්ටය, මධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ට වනාහි දෙවන පිඬ වළඳන විට පවාරණ වී නම් එ ද නො වළඳන්නේ ය. පළමු වන පිඩෙහි පවාරණවීමෙක් නැති. මධ්‍යම යම් භෝජනයෙක පවාරණ වී නම් ඒ භෝජනය මුත් අනෙක් භෝජනයක් නො වළඳන්නේ ය. මෘදුක ආසනයෙන් නැගී සිටින තාක් වළඳන්නේ ය.

 

ඛලුපච්ඡාභතතිකඞ්ග භේද

 

මේ තුන් දෙනම පවාරණ වීමෙන් පසු කැප කොට ගෙන වැළඳු නම් ඒ ඇසිල්ලෙහි ධුතාඞ්ගය බිඳෙන්නේ ය.

 

ඛලුපච්ඡාභතතිකඞ්ගානිසංස

 

අනතිරිත්ත භෝජන වැළඳීමෙන් විය හැකි ඇවැත් සිදු නො වන බව ය, එක පිඬකිනු දු යැපෙන බැවින් බඩජරිකම නො වන බවය, ‘කැප කරගෙන වළඳිමි’යි පරෙස්සම් කොට තබන ආමිස නැති බව ය, නැවත අහර සෙවීමක් නැති බව ය, අල්පේච්ඡතාදි ගුණයන්ට අනුලොම් වන බව ය යනු මේ ධුතාඞ්ගය ධැරීමේ ආනිසංස යි.

 

“පරියෙසනාය ඛෙදං - න යාති න කරොති සන් නිධිං ධීරො

ඔදරිකත්තං පජහති - ඛලුපච්ඡාහත්තිකො යොගි

තස්මා සුගතප්පසත්‍ථං - සන්තොස ගුණාදිවුද්‍ධිසංජනනං

දොසෙ විධුනිතු කාමො - භජෙය්‍ය යොගී ධුතමිදං.”

 

“නුවණැති ඛලුපච්ඡාභත්තික ධුතාඞ්ගධරයා පවාරණය වූ විට යළි නො වළඳන බැවින් භෝජනය සෙවීමෙන් වෙහෙසට නො පැමිණෙන්නේ ය. ආමිස සන්නිධිය ද නො කරන්නේ ය. (සන්නිධි කිරීම නම් මතු ප්‍රයෝජන ගන්නා පිණිස රැස්කොට තබා ගැන්මයි.) ඔදරිකත්තය හෙවත් බඩපුරවා ගැන්ම ස්වභාව කොට ඇති බව ද දුරු කරන්නේ ය.

 

මෙසේ හෙයින් බුදුරජාණන් වහන්සේ විසින් පසස්නා ලද්දා වූ ද, සනේතාෂාදි ගුණ වඩන්නා වූ ද, මේ ධුතාඞ්ගය දොස් දුරුකර ගනු කැමැති යෝගීන් විසින් සේවනය කළ යුතුයි.

 

ඛලුපච්ඡාභත්තිකඞ්ගය පිළිබඳ සමාදාන- විධාන- ප්‍රභේද

භේදානිසංස වර්ණනා යි.

 

ආරඤ්ඤකඞ්ග සමාදානය.

 

ආරඤ්ඤකඞ්ගය සමාදන් වන්නහු විසින් “ගාමන්ත සෙනාසනං පටික්ඛිපාමි. ආරඤ්ඤකඞ්ගං සමාදියාමි.” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. “ග්‍රාමාන්ත සෙනාසනය හැරැ පියමි. ආරඤ්ඤකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි.

 

ආරඤ්ඤකඞ්ග විධානය.

 

ආරඤ්ඤකඞ්ගය සමාදන් වූවහු විසින් ග්‍රාමාන්ත සේනාසනය හැරැපියා අරණ්‍යයෙහි ඇරුණු නැංවිය යුතු. ග්‍රාමාන්ත සේනාසනය නම් උපචාරයත් සමඟ ගමයි. ගම නම් එක කුටියක් හෝ කුටි බොහෝ ගණනක් ඇති වැ පවුරු ආදයෙන් පරික්‍ෂෙප කරන ද හෝ නො කරන ලද මිනිසුන් ඇති හෝ නැති ප්‍රදේශයයි. යටත් පිරිසෙයින් සාත්තුවාහකයන් සාරමසක් විසූ තැන පවා ග්‍රාම සඞ්ඛ්‍යාවට ඇතුළත් වන බව දතයුතු. ග්‍රාමොපචාරය නම් වැට පවුරු ආදියෙන් පරික්‍ෂේප කළ ගමෙහි අනුරාධපුරයෙහි මෙන් ඉන්ද්‍ර‍ඛීල දෙකක් ඇත්නම් එයින් අභ්‍යන්තර ඉන්‍ද්‍ර‍ඛීලයෙහි සිට මධ්‍යම බලැති පුරුෂයකු විසින් ගැසූ කැටක් වැටෙන තරම් ප්‍රදේශය යි. මෙයට ලෙඩ්ඩුපාතය යි කියනු ලැබේ. ලෙඩ්ඩුපාතය විනයධරයෝ එක් විධියකට ද, සූත්‍ර‍ධරයෝ අන්‍ය විධියකට ද තෝරති. තරුණ මිනිස්සු ස්වකීය වෙර දක්වා අත දිගු කොට ගල්කැට වීසි කරත් එබඳු කැට වැටෙන තරම් අතර ප්‍රදේශය ලෙඩ්ඩුපාතය යනු විනයධරයන් ගේ මත ය. කවුඩන් එලවන නියායෙන් ගැසූ කැට වැටෙන තරම් අතර ප්‍රදේශය ලෙඩ්ඩුපාතය යනු සූත්‍ර‍ධරයන් ගේ මත යි. (මේ කීයේ පරික්‍ෂේප කළ ගමට උපචාරය ලැබෙන සැටියි.)

 

ඉදින් ගම වැට පවුරු ආදියෙන් පරික්‍ෂේප නො කරන ලද නම් එහි උපචාරය ලැබෙන සැටි මෙසේ ය. එබඳු ගමෙහි අරණ්‍යයට ආසන්න අන්තිම ගෘහයෙහි සිටි ස්ත්‍රියක් භාජන සෝදා වතුරු විසි කරයි නම් ඒ වතුර වැටෙන තරම් ප්‍රදේශය ගෘභොපචාරයි. ඒ වතුර වැටුණු තැන සිට යට කීසේ ගැසූ ලෙඩ්ඩුපාතය ගම යි. ඒ ලෙඩ්ඩුපාතයේ සිට ගැසූ දෙ වන ලෙඩ්ඩුපාතය ග්‍රාමොපචාරය යි.

 

අරණ්‍යය ද විනය විධිය, අභිධර්‍ම විධිය, සූත්‍ර‍ විධිය යි ත්‍රිවිධ වේ. යට දැක්වූ ග්‍රාමය හා ග්‍රාමොපචාරය හැරැ එයින් ඔබ සියලු වනය විනය විධියෙන් අරණ්‍යයි යි “ඨපෙත්‍වා ගාමංච ගාමූපචාරංච සබ්බමෙතං අරඤ්ඤං”[158] යනු එහෙයින් කියන ලදි.

 

බාහිර ඉන්‍ද්‍ර‍ඛීලය හැරැ එතැන් පටන් ඔබ සියලු විනය අභිධර්‍ම විධියෙන් අරන්‍ය යි. “නික්ඛමිත්‍වා බහි ඉන්‍ද්‍ර‍ඛීලා සබ්බමෙතං අරඤ්ඤං”[159] යනු එහෙයින් කියන ලදී. සූත්‍ර‍ විධියෙන් අරණ්‍යය නම් දුනු පන්සියයෙකි. “අරඤ්ඤකං පන සෙනාසනං පඤ්ඤධනුසතිකං” යනු එහෙයින් කියන ලදී. දුන්න නව වියතෙකි. ආරඤ්ඤකඞ්ගය පිළිබඳ වැ ගතයුත්තේ මේ සූත්‍රාන්තික ආරණ්‍යය යි එය මැණිය යුත්තේ වැට පවුරු ආදියෙන් පරික්‍ෂේප කල ගමේ ඉන්‍ද්‍ර‍ඛීලයෙහි හා එසේ පරික්‍ෂේප නො කළ ගමේ යට දැක්වුණු පරිදි ලෙඩ්ඩුපාතයෙහි පටන් අරණ්‍ය විහාරයේ පරික්‍ෂේපය දක්වා ය. ඉදින් ආරණ්‍යය විහාරය පරික්‍ෂේප නො කරන ලද්දක් නම් එහි සියල්ලට ඉදිරියෙහි තිබෙන සේනාසනය හෝ භත්ත ශාලාව හෝ සංඝයා නිතර රැස්වෙන තැන හෝ බෝධිය හෝ චෛත්‍යය හෝ දක්වා මැණිය යුතු. ඒ ස්ථාන ආරණ්‍ය සේනාසනයෙන් දුර වුව ද එම ගත යුතු. මේ දැක්වුණේ විනය අටුවාවේ මතය යි. මැදුම්සඟි අටුවායෙහි වනාහි ගමට මෙන් අරණ්‍ය විහාරයට ද, උපචාර හැරැ ලෙඩ්ඩුපාත දෙක අතර මැණිය යුතුය යි දක්වන ලදී. සූත්‍රාන්තික ක්‍ර‍මය හෙයින් එය ම මෙහි ප්‍ර‍මාණ වේ. 

 

තව ද කියයුත්තෙක් ඇති. අරණ්‍යයට ආසන්න නමුදු අරණ්‍ය විහාරයෙහි සිටියවුන්ට ගමේ මිනිසුන් ගේ කථා ඇසේ නමුදු පර්‍වත ගංගා ආදිය අතර බැවින් සෘජු වැ යන්නට නො හැකි වැ ප්‍ර‍කෘති මාර්‍ගය ඔරු පාරුවලින් යා යුතු නම් ඒ මාර්‍ගයෙන් දුනු පන්සියය මැණිය යුතු. ආසන්න වූ ගමට අඞ්ග සම්පූර්‍ණ කර ගැන්ම පිණිස යමෙක් ප්‍ර‍කෘති මාර්‍ගය වසමින් මිණි ද ඔහු ධුතාඞ්ග චෞරයකු වන බව දත යුතුයි.

 

තව ද අරඤ්ඤකඞ්ගය සමාදන් වැ ගත් භික්‍ෂුවක ගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ හෝ උපාධ්‍යායයන් වහන්සේ හෝ ගිලන් සේක් නම් අරණ්‍යය සජායා නොවේ නම් ග්‍රාමාන්ත සේනාසනයට පමුණුවා උපස්ථාන කළ යුතු. කල් ඇති වැ ගමින් නික් මැ ගොස් අරණ්‍යයෙහි අරුණු නැංවිය යුතු. අරුණු නැඟෙන වේලෙහි රෝගය උත්සන්න වේ නම් ධුතඞ්ගය හැරැපියා උපස්ථාන කළ යුතුයි. ධුතාඞ්ග ශුද්‍ධික නො විය යුතුයි.

 

ආරණ්‍යකඞ්ග ප්‍රභේද

 

මේ ද උත්කෘෂ්ටය, මද්ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටයා විසින් සියලු කල්හි අරණ්‍යයෙහි අරණු නැංවිය යුතු. මද්ධ්‍යම හට වැසි සාරමස ග්‍රාමාන්ත සේනාසනයෙහි විසිය හැකි. මෘදුකහට වස්සික හෙමන්ත යන අට මස ම ග්‍රාමාන්තයෙහි විසිය හැකි යි.

 

ආරණ්‍යකාඞ්ග භෙද

 

මේ තුන් දෙන ම ඒ ඒ කාල තුල ආරණ්‍යයෙන් නික්ම අවුත් ග්‍රාමාන්ත සේනාසනයෙහි බණ අසන කල්හි අරුණු නැංගත් බණ අසා යන විට අතරමඟ දී අරුණු නැංගත් ධුතාඞ්ගය නො බිඳෙන්නේ ය. ඉදින් ධර්‍මකථිකයා බණ කියා ආසනයෙන් නැගී ගිය කල්හි “මොහොතක් නිදා යමි” යි නිදන කල අරුනු නැංගේ නම් එසේ ම සිය කැමැත්තෙන් ග්‍රාමාන්ත සේනාසනයෙහි අරුණු නැංවී නම් ධුතාඞ්ගය බිඳෙන්නේ ය.

 

ආරඤ්ඤකඞ්ගානිසංස

 

ආරණ්‍යක භික්‍ෂු අරණ්‍ය සංඥාව මෙනෙහි කරන්නේ නො ලත් සමාධි ලැබැ ගන්නට ද, ලත් සමාධි රැක ගන්නට ද සමර්‍ථ ය. “තෙනාහං නාගිත-තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤ විහාරෙන”[160] නාගිතය ඒ අරණ්‍ය විහරණයෙන් මම ඒ භික්‍ෂුහට සතුටු ඇත්තෙමි” යනු (අංගුත්තර සඟියෙහි) වදාළ බැවින්න අරණ්‍යවාසී භික්‍ෂූහට ශාස්තෘන් වහන්සේ සතුටු වන සේක. අසප්පාය රූපාදීහු වනවාසී භික්‍ෂුහුගේ සිත වික්‍ෂිප්ත කළ නො හෙති. විවේකයෙහි පුරුදු බැවින් හෙතෙමේ නිර්‍භය ය. ජීවිත තෘෂ්ණාව දුරු කරයි. විවේක සුඛයෙහි රස වළඳයි. පංසුකූලාදි භාවයට සුදුසු වේ.

 

“පවිවිත්තො අසංසට්ඨො - පන්තසෙනාසනෙ රතො

ආරාධයන්තො නාථස්ස - වනවාසෙන මානසං

 

එකො අරඤ්ඤෙ නිවසං - යං සුඛං ලභතෙ යති

අරඤ්ඤසඞ්ගාමගතො - අවසෙසධුතායුධො

 

සමත්‍ථො න චිරස්සෙව - ජෙතුං මාරං සවාහිනිං

තස්මා අරඤ්ඤවාසම්බි - රතිං කයිරාථ පණ්ඩිතො”

 

“කාය විවේක ඇති වැ කිසිවකු හා සංසර්‍ග නැති වැ ප්‍රාන්ත සෙනස්නෙහි ඇලෙමින් ඒ වනවාසයෙන් තථාගතයන් වහන්සේ ගේ චිත්තාරාධනය කරමින්; හුදෙකලා වැ අරණ්‍යයෙහි වසන භික්‍ෂු යම් සුවයක් වළඳන්නේ නම් ශක්‍ර‍යා සහිත දෙවියෝ පවා ඒ සුවයෙහි රසය නො වළඳති. පංසුකූලය කවචයක් සේ ධරමින් සෙසු ධුතාඞ්ග නමැති ආයුධ ඇති වැ අරණ්‍යයෙහි කෙලෙස් යුද්ධයකට ගිය මේ මහණ සේනා සහිත මාරයා දිනන්නට නොබෝ කලකින් සමර්‍ථ වන්නේ ය. එ හෙයින් නුවණැත්තේ අරණ්‍ය වාසයෙහි ආලය කරන්නේ යි.”

 

ආරඤ්ඤිකඞ්ගය පිළිබඳ සමාදාන- විධාන- ප්‍රභේද - භේද

ආනිසංස වර්ණනායි.

 

රුක්ඛමූලිකඞ්ග සමාදානය

 

රුක්ඛමූලිකඞ්ගය සමාදන් වන්නහු විසින් “ජන්තං පටික්ඛිපාමි. රුක්ඛමූලිකඞ්ගං සමාදියාමි.” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සෙවෙණි කළ (පියසි ඇති) ගේ හැරැපියමි. වෘක්‍ෂමූලිකාඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි.

 

රුක්ඛමූලිකඞ්ග විධාන

 

රුක්ඛමූලිකඞ්ගය සමාදන් වූවහු විසින් රාජ්‍ය සීමායෙහි පිහිටි රුක් ද, ‘දෙවියන් වෙසෙති යි’ මිනිසුන් විසින් පුද පවත්වන රුක් ද, ලාටු ගන්නා රුක් ද, පල ගන්නා රුක්ද, වවුලන් වසන රුක් ද, සිදුරු ඇති රුක් ද, විහාර මැද පිහිටි රුක් ද හැරැ විහාර කෙළවර පිහිටි රුකක් විසුම් පිණිස ගත යුතු.

 

රුක්ඛමූලිකඞ්ග ප්‍රභේද

 

මෙ ද වනාහි උත්කෘෂ්ටය, මද්‍ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටයාහට අභිමත රුකක් ගෙන වැටුණු පරණල පයින් ඉවත් කොට වසත හැකි ය. සකස් කර වන්නට නො හැකිය. මද්‍ධ්‍යමයාහට ඒ රුක ළඟට පැමිණි කෙනෙකුන් ලවා සකස් කරව ගන්නට හැකි ය. මෘදුකයාහට වනාහි ආරාමිකයන් හා සාමණෙරයන් කැඳවා ඔවුන් ලවා ශුද්ධ කරවා සම කරවා වැලි ඉස්සවා ප්‍රාකාරයෙන් වට කරවා දොරවල් යොදවා ගෙන වසත හැකිය. පූජා දවස්හි එහි නො සිට අන්‍ය ප්‍ර‍තිච්ඡන්න තැනෙක විසිය යුතු.

 

රුක්ඛමූලිකඞ්ග භේද

 

සෙවෙණි කළ ගෙයක වාසය කළ ඇසිල්ලෙහි මේ තුන් දෙනාගේ ම අඞ්ගය බිඳෙන්නේ ය. අඞ්ගුත්තරභාණකයන් ගේ මතය නම් දැනැ ගෙන සෙවෙණියෙහි අරුණු නැංවූ කල අඞ්ගය බිඳෙන බව යි.

 

රුක්ඛමූලිකකඞ්ගානිසංස

 

“රුක්ඛමූලසෙනාසනං නිස්සාය පබ්බජ්ජා”[161] යනු වදාළ හෙයින් නිස්සයානුරූප ප්‍ර‍තිපත්ති ඇති බව ය, “අප්පානිවෙච සුලභානි ච තානි ච අනවජ්ජානි”[162] රුක් මුල් සෙනසුන් ස්වල්පය, එහෙත් සුලභය, නිරවද්‍යය යි බුදුන් වහන්සේ විසින් වර්‍ණනා කළ ප්‍ර‍ත්‍යයක් වන බව ය, නිතර පත්‍ර‍ විකාර දැක්මෙන් අනිත්‍ය සංඥා පහළ වන බව ය, ආවාස මච්ඡරිය හා නවකර්‍මයෙහි යෙදුම් නැති බව ය, දෙවියන් හා එක් වැ වසන බව ය, අල්පේච්ඡතාදි ගුණයන්ට අනුලොම් පැවතුම් ඇති බවය යන මේ රුක්ඛ මූලිකඞ්ගානිසංසයි.

 

“වණර්‍ණතො බුද්‍ධසෙට්ඨෙන - නිස්සයොති ච භාසිතො

නිවාසො පවිචිත්තස්ස - රුක්ඛමූලසමො කුතො

 

ආවාසමච්ඡෙරහරෙ - දෙවතා පරිපාලිතෙ

පවිවිත්තෙ වසන්තො හි - රුක්ඛමූලම්හි සුබ්බතො

 

අභිරත්තානි නීලානි - පණ්ඩූනි පතිතානි ච

පස්සන්තො තරුපණ්ණානි - නිච්චසඤ්ඤං පනූදති

 

තස්මා හි බුද්‍ධදායජ්ජං - භාවනාභිරතාලයං

විවිත්තං නාතිමඤ්ඤෙය්‍ය - රුක්ඛමූලං විචක්ඛණො”

 

“උතුම් බුදුරජාණන් වහන්සේ විසින් “අප්පානිචචෙ සුලභානි ච” යනාදීන් පසස්නා ලද්දාවූ ද, “රුක්ඛමූල සෙනාසනං නිස්සාය පබ්බජ්ජා”[163] යනුවෙන් වදාරන ලද්දා වූ ද, වෘක්‍ෂමූලය බඳු වූ නිවාසයෙක් විවේකකාමීන්ට වෙන කොයි ද? ආවාස මාත්සර්‍ය්‍යය දුරු කරන්නා වූ දේවපාතික විවේක රුක්මුලැ වසන ව්‍ර‍ත සම්පන්න භික්‍ෂු ඉතා රතුවූ ද, මඳ නිල් වූ ද, පඬුවන් වූ ද, බිම වගුල තුරු පත් දැක්මෙන් නිත්‍ය සංඥාව දුරු කරන්නේ ය. එ හෙයින් බුදුන්වහන්සේ ගේ දෑවැද්ද වූ, භාවනාභිරතයන්ට වාසස්ථානය වූ විවේක රුක් මුල නුවණ ඇත්තේ ඉක්මැ නො සිතන්නේ ය.

 

රුක්ඛමූලිකඞ්ගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද-

භේදානිසංස වර්ණනා යි.

 

අබ්භොකාසිකඞ්ග සමාදානය

 

අබේභාකාසිකඞ්ගය සමාදන් වන්නහු විසින් “ඡන්තං ච රුක්ඛමූලංච පටික්ඛිපාමි, අබ්භොකාසිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සෙවෙණි කළ ගෙය ද, වෘක්‍ෂමූල ද හැරැපියමි. අබේභාකාසිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි.

 

අබ්භොකාසිකඞ්ග විධානය

 

අබේභාකාසිකඞ්ග සමාදන් වූවහුට බණ අසනු පිණිස හා පොහෝ කරනු පිණිස උපෝසථාගාරයට ඇතුළුවන්නට වටනේ ය. ඇතුළු වූ කල වැසි වස්නේ නම් වැසි පෑවූ කල්හි නික්ම යා යුතු. වස්නා කල්හි මැ නො යා යුතු. තව ද භෝජන ශාලාවට හා ගිනිහල් ගෙට පැමිණ වත්පිළිවෙත් කරන්නට ද, භෝජන ශාලායෙහි ස්ථවිර භික්‍ෂූන් බතින් විචාරන්නට ද, ඉගෙනීම හෝ උගැන්වීම සඳහා ගෙවලට ඇතුළු වන්නට ද, පිටත දමා තිබෙන ඇඳ පුටු ආදිය ගෙ තුල ලා ලන්නට ද වටනේ ය. මඟ යන කල අන් මහණුන්ගේ පිරිකර අතේ ඇත් නම් වැස්සෙන් නො තෙමීම සඳහා මාර්‍ග මධ්‍යයෙහි පිහිටි ශාලාවකට ඇතුළු වන්නට ද වටනේ ය. අතේ කිසි පිරිකරක් නැත් නම් සාලාවට යාම සඳහා වේගයෙන් යන්නට නො වටියි. පියවි ගමනින් ගොස් ගෙට වැදැ වැසි නවතින තාක් සිටැ යා යුතුයි. මේ නියමය වෘක්‍ෂමූලිකයාට ද මෙසේම බැව් දත යුතු යි. (‘මං මැද සිටි හල් නම් හෙළදිව මෙන් මඟින් පහ නොවැ ඉදිවම වැද්ද යුතු හලයි’ යනු පැරකුම්බා සන්නයි).

 

අබ්භොකාසිකඞ්ග ප්‍රභේද

 

මෙ ද වනාහි උත්කෘෂ්ටය, මද්‍ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටයාහට වෘක්‍ෂයක් හෝ පර්‍වතයක් හෝ ගෙයක් හෝ ඇසුරු කොට වසන්නට නො වටනේ ය. ඔහු විසින් අභ්‍යවකාශයෙහි චීවර කුටියක් කොටගෙන එහි විසිය යුතු. මද්‍ධ්‍යමයාහට වාක්‍ෂ පර්‍වත ගෘහ ඇසුරු කොට එහි ඇතුළට නො වැද වසන්නට වටනේ ය. මෘදුකහට කටාරම් නො කෙටූ ලෙන් ද, තුනී කොට සෙවූ කොළ මඩු ද, ඉටිරෙදි ගෙවල් ද, කුඹුරු රක්නවුන් විසින් හැරැ දැමූ කුටි ද වටනේ යි.

 

අබ්භොකාසිකඞ්ග භේද

 

වාසය පිණිස සෙවෙණි කළ ගෙයකට හෝ රුක් මුලකට හෝ පැමිණි ඇසිල්ලෙහි මේ තුන් දෙනගේ ම ධුතඞ්ගය බිඳෙන්නේ ය. අඞ්ගුත්තරභාණකයන් ගේ මතය නම් දැනැගෙනැ එහි අරුණු නැංවූ කල ධුතඞ්ග බිඳෙන බවයි.

 

අබේභාකාසිකඞ්ගානිසංස

 

ආවාස පලිබෝධ නැති වන බව ය, ථීන-මිද්‍ධ දුරුවන බව ය, “මගකා විය අසඞ්ගචාරිනො - අනිකෙතා විහරන්ති භික්ඛවො”[164] ගෙවල් නැති භික්‍ෂූහු මුවන් මෙන් නිස්සඞ්ග වැ (කිසි තැනෙක ඇල්මෙක් නැති වැ) වසති’යි වදාළ ප්‍ර‍ශංසාවට සුදුසු වන බව ය, කිසි තැනෙක ඇලුම් නැති බවය, සිව් දිගින් රුචි දිගකට යත හැකි බව ය, අල්පේච්ඡතාදි ගුණයන්ට අනුලොම් වන බව ය යනු මේ ධුතාඞ්ගයා ගේ ආනිසංස යි.

 

“අනාගාරිය භාවස්ස - අනුරූපෙ අදුල්ලභෙ

තාරාමණී විතානම්හි - වන්‍දදීපප්පභාසිතෙ

 

අබ්භොකාසෙ වසං භික්ඛු - මිගභුතෙන චෙතසා

ථීනමිද්ධං විනොදෙත්වා - භාවනාරාමතං සිතො

 

පවිවෙක රසස්සාදං - න චිරස්සෙව වින්‍දති

යස්මා තස්මාහිසප්පඤ්ඤො - අබ්භොකාසෙ රතොසියා”

 

“ශ්‍ර‍මණ ධර්‍මයට සුදුසු දුර්‍ලභ නො වන තරු නමැති බුබුළු ඇති, අහස් නමැති වියන් ඇති, සඳපහනින් ආලෝක වූ අභ්‍යවකාශයෙහි (ඇලුම් නැති බැවින්) මුවන් ගේ සිත් බඳු සිතින් වසන භික්‍ෂු ථීන - මිද්ධය දුරුකොට භාවනායෙහි ඇලුණේ නිර්‍වාණ රසාස්වාදය යම් හෙයකින් නො බෝ කලෙකින් ලබන්නේ ද, එහෙයින් නුවණැත්තෝ අභ්‍යවකාශයෙහි ඇලෙන්නේ ය.

 

අබ්භොකාසිකඞ්ග සමාදාන - විධාන - ප්‍රභේද - භේද

ආනිසංස වර්ණනාව යි.

 

සොසානිකඞ්ග සමාදානය

 

සෝසානිකඞ්ගය සමාදන් වන්නහු විසින් “න සුසානං පටික්ඛිපාමි. සොසානිකඞ්ග සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘නො සොහොන් හෙවත් සොහොන් ලකුණු නැති තැන් හැරැ පියමි. සොසානිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථයි.

 

සොසානිකඞ්ග විධානය

 

සෝසානිකඞ්ගය සමාදන් වූවහු විසින් මිනිසුන් ගම් පිහිටුවා ගෙන සොහොනය යි සම්මත කැරැ ගත් තන්හි නො විසිය යුතු. මළමිනී නො දැවූ තැන සොහොන නො වේ. පළමු මිනී දැවූ තැන වස්වා දොළොස්වසක් නො දැවූව ද සොහොන ම වන්නේ ය. එහි වසන්නහු විසින් සක්මන් මඩු ආදිය තනවා ගෙනැ ඇඳ පුටු පණවා ගෙනැ පැන් දිය එළවා ගෙනැ බණ කියමින් නො විසිය යුතු. මේ ධුතාඞ්ගය දුකසේ පරිහරණය කටයුත්තක් බැවින් මතු ඇති වන උපද්‍ර‍ව වළකා ගැන්ම සඳහා විහාරයෙහි සංඝස්ථවිරයන්ට හා ගමේ ගම්මුදලියාට දන්වා අප්‍ර‍මාද වැ විසිය යුතු. සක්මන් කරන කල්හි යටැසින් ආදාහන ස්ථානය බලමින් සක්මන් කළ යුතු. සොහොනට යන කල්හි මහ මගින් නො ගොස් තමා සෝසානික බව නො හඟවන පිණිස කුඩා මගින් යා යුතු. රාත්‍රි කාලයෙහි අමනුෂ්‍යයෝවත් දැ යි භය නො සිතෙන පිණිස දවල් කාලයෙහි මග අසල තුඹස් රුක් අදිය ව්‍යවස්ථා කර ගත යුතු. රාත්‍රි අමනුෂ්‍යයන් හඬ හඬා ඇවිදින බව දුටුව ද කැට කැබලිති ආදි කිසිවකින් ඔවුන්ට නො ගැසිය යුතු. සෑම රැයෙකම සොහොනට යා යුතු. එක දවසකු දු නො ගොස් නැවතීම නුසුදුසු ය. මැදියම සොහොනෙහි වැසැ අළුයම එයින් නික්මැ යන්නට වටනේ ය යනු අඞ්ගුත්තරභාණක මත යි. අමනුෂ්‍යයන්ට ප්‍රිය වූ තලල-මුරුවට-උඳුබත්-මස්-මාංශාදිය නො වැළඳිය යුතු. සොහොන් දුම් වැදගත් බැවින් හා පිශාචයන් විසින් ලුහුබඳිනා බැවින් කුල ගෙවලට නො වැද්ද යුතුයි.

 

සෝසානිකඞ්ග ප්‍රභේද

 

මේ ද උත්කෘෂ්ටය, මධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ට විසින් දිනපතා මිනී පළහන, දිනපතා මිනී වැටෙන, දිනපතා හැඬුම් ඇති සොහොන් ම සෙවිය යුතු. මද්ධ්‍යමහට දැක්වුණු තුනින් එකක් ඇති සොහොන් වටනේය. මෘදුකහට ඒ එකකුදු නැතිවත් සොහොන් ලක්‍ෂණ ඇති තැන් වටනේ යි.

 

සෝසානිකඞ්ග භේද

 

සොහොන් නො වන තන්හි විසීමෙන් මේ තුන් නමගේ ම අඞ්ගය බිඳෙන්නේ ය. අඞ්ගුත්තරභාණක මතය නම් සොහොනට නො ගියදා බිඳෙන බව යි.

 

සෝසානිකඞ්ගානිසංස

 

නිතර මිනී දැක්මෙන් මරණානුස්මරණය ලැබෙන බව ය, එ හෙයින් නො පමා වැ වසන බව ය, අශුභාරම්මණ ලැබෙන බව ය, කාමරාග දුරුවන බව ය, නිතර කාය ස්වභාවය දක්නා බව ය, එයින්ම සංවේග බහුල වන බව ය, අරෝග්‍යමද-යොබ්බනමද-ජීවිතමද නැති වන බව ය, කුඩා මහත් බිය ඉවසන බවය, අමනුෂ්‍යයන් විසින් ගරු සම්භාවනා කරනු ලබන බවය, අල්පේච්ඡතාදීන්ට අනුලොම් වන බව ය, යනාදිය මේ අඞ්ග සමාදානයේ ආනිසංස යි.

 

“සොසානිකං හි මරණානුසතිප්පභාවා

නිද්දාගතං පින ඵුසත්ති පමාදදොසා

සම්පස්සතො ච කුණපානි බහූනි තස්ස

කාමානුරාගවසංගංහි න හොති විත්තං.

 

සංවෙගමෙති විපුලං න මදං උපෙති

සම්මා අථො ඝටති නිබ්බුති මෙසමානො

සෙසානිකඞ්ගමිති නෙක ගුණාවහත්තා

නිබ්බාණනින්න හදයෙන නිසෙවිතබ්බා”

 

“මරණානුස්මෘති ආනුභාවය හේතු කොට නිදි ගත්තා වූ ද සෝසානිකයා කරා ප්‍ර‍මාද දෝෂයෝ නො එළඹෙති. නිතර මිනී කුණු දක්නා ඔහුගේ සිත කාමරාගයට වසඟ නො වන්නේ ය.

 

හෙතෙමේ මහත් සංවේගයට පැමිණේ. මදයට නො පැමිණේ. එසේ ම නිවන් සොයන්නේ මනා වැ උත්සාහ කෙරෙයි. මෙසේ නොයෙක් ගුණ ඇති බැවින් නිවනට නැමීගත් සිතැත්තහු විසින් සෝසානිකඞ්ගය සේවනය කටයුතුයි”

 

සෝසානිකඞ්ගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද-

භේද ආනිසංස වර්ණනා යි.

 

යථාසන්‍ථතිකඞ්ග සමාදානය

 

යථාසන්‍ථතිකඞ්ගය සමාදන් වන්නහු විසින් “සෙනාසන ලොලුප්පං පටික්ඛිමිපාමි. යථාසන්‍ථතිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සෙනාසන ලොලභාවය හැරැපියමි යථාසන්‍ථතිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි.

 

යථාසන්‍ථතිකඞ්ග විධානය

 

යථාසන්‍ථතිකඞ්ගය සමාදන් වූවහු විසින් “මෙය නුඹ වහන්සේටය” යි කියා යම් සෙනස්නක් තමාට දෙන ලද්දේ නම් එයින් සතුටු විය යුතු. අන්‍යයෙක් ඔහු උන් සෙනස්නෙන් නො නැඟිටවිය යුතු.

 

යථාසන්‍ථතිකඞ්ග ප්‍රභේද

 

මේ ද උත්කෘෂ්ටය, මද්‍ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටහට වනාහි තමන්ට පැමිණි සෙනස්න දුර ද ළඟ ද යකුන් නයි පොළඟුන් විසින් උපද්‍රැත ද උෂ්ණ ද සීතල දැ යි විචාරන්නට නො වටනේ ය. මද්‍ධ්‍යමහට එසේ විචාරීමෙන් දෝෂ නැත. ගොස් බලන්නට නො වටනේ ය. මෘදුකහට ගොසින් බලා ඉදින් අරුචි නම් අන් සෙනස්නක් ගන්නට වටනේයි.

 

යථාසන්‍ථතිකඞ්ග භේද

 

තමහට පැමිණි සෙනස්න නො ගෙන “අසවලාගේ සෙන්සන මට දෙව” යි විඥප්තියට පමුණුවා සෙනසුන් ලොල් බව උපන් ඇසිල්ලෙහි මේ තුන්දෙනාගේම ධුතාඞ්ගය බිඳෙන්නේ ය.

 

යථාසන්‍ථතිකඞ්ගානිසංස

 

“යං ලද්‍ධං තෙන තුට්ඨබ්බා” ‘ලද දෙයින් සතුටු විය යුතුය’ යි වදාළ අවවාදයට නැමුණු බව ය, කිසිවකු උන් සෙනස්නෙන් නො නැඟිටුවන බැවින් සබ්රම්සරුන්ට හිතෙසි වන බවය, (මෙයින් කරුණා විහරණය දැක්වේ) හීනය ප්‍ර‍ණීතය යන අදහස් දුරුවන බවය. මෙයින් තාදිගුණය දැක්වේ) ඇලුම්කම් හා විරුද්‍ධකම් දුරුවන බවය, අත්‍රිච්ඡතායෙහි දොර පියාලන බවය, අල්පේච්ඡතාදීන්ට අනුලොම් වන බවය යනාදිය මේ අංගසමාදානයේ ආනිසංස යි.

 

“යං ලද්‍ධං තෙන සන්තුඨො - යථාසන්‍ථතිකො යති

නිබබිකප්පො සුඛං සෙති - තිණසන්‍ථරකෙසුපි

න සො රජ්ජති සෙට්ඨම්හී - හිනං ලද්‍ධා න කුප්පති

සබ්‍රහ්මචාරී නවකෙ - හිතෙන අනුකම්පති

තස්මා අරියසතාකිණ්ණං - මුනිපුඞ්ගව වණ්ණිතං

අනුයුඤෙජථ මෙධාවි - යථාසන්‍ථතරාමතං”

 

“ලද දෙයින් සතුටු වන යථාසන්‍ථතික මහණ තණ ඇතිරියෙහි පවා නිර්විකල්ප වැ සයනය කරන්නේ ය. හෙතෙම උතුම් සෙනස්නෙහි නො ඇලෙන්නේ ය. පහත් සෙනසුන් ලැබැ කෝප නො වන්නේ ය. නවක සබ්රම්සරුන් කෙරෙහි හිතානුකම්පා කරන්නේ ය. එබැවින් නුවණැත්තේ ආර්‍ය්‍ය ශතයන් විසින් පුරුදු කළ මුනි උතුමා විසින් පසස්නා ලද යථාසත්‍ථතිකඞ්ගයෙහි යෙදෙන්නේ යි.”

 

යථාසන්‍ථතිකඞ්ගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද

භේදානිසංස වර්ණනා යි.

 

නෙසජ්ජිකඞ්ග සමාදානය

 

නේසජ්ජිකඞ්ගය සමාදන් වන්නහු විසින් “සෙය්‍යං පටික්ඛිපාමි. නෙසජ්ජිකඞ්ගං සමාදියාමි” යන වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සයනය කරන ඉරියව්ව හැරැ පියමි. නෙසජ්ජිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි.

 

නෙසජ්ජිකඞ්ග විධානය

 

නෙසජ්ජිකඞ්ගය සමාදන් වූවහු විසින් හිඳැගෙනැ මැ නො හිඳැ - රෑ තුන්යම අතුරෙන් එක් යාමයක නැගිට සක්මන් කළ යුතු. ඔහුට නුසුදුසු වන්නේ සයනය ඉරියව්ව පමණෙකි. යාම්-සිටීම්-ඉඳීම් යන සෙසු තුන් ඉරියව්ව නො වටනේ නො වේ.

 

නෙසජ්ජිකඞ්ග ප්‍රභේද

 

මෙ ද උත්කෘෂ්ටය, මද්‍ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටහට පිටාටුව ද, සිව්රු අකවටු ද, අයෝගපට්ට ද නො වටනේ ය. මද්‍ධ්‍යමහට මේ තුනින් එකක් වටනේ ය. මෘදුකහට ඒ තුන හා බිමේබාහනය ද, පඤ්චාඞ්ගය ද, සප්තාඞ්ගය ද වටනේ ය. බිම්බෝහන නම් කොට්ටය, පඤ්චඞ්ගය නම් පිටිපසට පමණක් ඇඳි ඇති පුටුව. සප්තාඞ්ගය නම් පිටිපසට හා දෑලයට ඇඳි ඇති පුටුව, (පා සතරක් සමඟ වූ විට මෙය පඤ්චාඞ්ග හා සප්තාඞ්ග වේ. මේ සප්තාඞ්ගයක් පීළාභය තෙරණුවන්ට කර දුන් බවද, එහි හිඳ උන්වහන්සේ අනාගාමි වූ බවද දක්වා තිබේ. (සයන විශේෂයක් නො වන බැවින් නේසජ්ජිකහට අයෝග්‍ය නොවන බව එයින් කී සේයි.)

 

නේසජ්ජිකඞ්ග භේද

 

සයනය කළ ඇසිල්ලෙහි මේ තුන්දෙනාගේ ම ධුතාඞ්ගය බිඳෙන්නේ ය.

 

නෙසජ්ජිකඞ්ගානිසංස

 

“සෙය්‍යසුඛං පස්සසුඛං මිද්‍ධංසුඛං අනුයුත්තො විහරති”[165] සයනයෙන් ලැබෙන සුවයෙහි ද, ඇලයෙන් ඇලයට පෙරළි පෙරළී නිදන්නහුට වන පාර්ශ්ව සුවයෙහි ද, නිද්‍රා සුවයෙහි ද, යෙදී වාසය කරන්නෝය’යි චෙතෝඛිල සූත්‍රයෙහි වදාළ චෙතෝවිනිබන්‍ධ සිඳලන බවය, සියලු කර්‍මස්ථානයන්හි ම යෙදීමට සප්පාය වන බවය, දුටුවන් පහදනා ඉරියව් ඇති වන බවය, වීර්‍ය්‍යාරම්භයට සුදුසු වන බවය, යහපත් ප්‍ර‍තිපත්ති වඩන බවය යනු මේ ධුතාඞ්ගයාගේ ආනිසංස යි.

 

“ආභුජිත්‍වාන පල්ලඞ්කං - පණිධාය උජුං තනුං

නිසීදන්තො විකම්පෙති - මාරස්ස හදයං යති.

සෙය්‍යසුඛං මිද්ධසුඛං - හිත්‍වා ආරද්ධ විරියො

නිසජ්ජාභිරතො භික්ඛු - සොහයන්තො තපොවනං

 

නිරාමිසං පීතිසුඛං - යස්මා සමධිගච්ඡති

තස්මා සමනුයුඤ්ජෙය්‍ය - ධීරො නෙසජ්ජකං වතං.”

 

“පලඟ බැඳගෙන ශරීරය සෘජු වැ පිහිටුවා ගෙන ඉන්නා මහණ මාරයාගේ හෘදය කම්පා කරන්නේ ය. හිඳීමෙහි ඇලුණු භික්‍ෂු සෙය්‍යසුඛ පස්සසුඛ හැරැ දමා ආරබ්ධ වීර්‍ය්‍යයෙන් තපෝවනය හොබවමින් නිරාමිස ප්‍රීති සුඛය විඳින හෙයින් ඥානවත් තෙමේ ඒ නෙසජ්ජිකඞ්ගයෙහි යෙදෙන්නේ ය.”

 

නේසජ්ජිකඞ්ගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද-භේද

ආනිසංස වර්ණනා යි.

 

මෙසේ මේ තෙලෙස් ධුතාඞ්ග සම්බන්‍ධ අර්‍ථ, ලක්ඛණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන, සමාදාන, විධාන, ප්‍රභේද, භේද ආනිසංස යන මොවුන්ගේ වශයෙන් විනිශ්චය දක්වා දැන් ඔවුන් පිළිබඳ වූ ම කුසලත්‍රිකය, ධුතාදි විභාගය, සමාසය, ව්‍යාසය යන මොවුන්ගේ වශයෙන් විනිශ්චය දක්වනු ලැබේ.

 

කුශලත්‍රික වශයෙන්

 

මේ සියලු ධුතාඞ්ග පෘථග්ජනයන් ගේ හා ශෛක්‍ෂ්‍යයන් ගේ වශයෙන් කුසල් ය. රහතන් ගේ වශයෙන් අව්‍යාකෘතය. අකුශල වන ධුතාඞ්ග නැති. (කුශලත්‍රික නම් “කුසලා ධම්මා - අකුසලා - ධම්මා - අඛ්‍යාකතා ධම්මා”[166] යනුවෙන් වදාළ ධම්මසඞ්ගණි පාළියි. ධුතාඞ්ග ඒ වශයෙන් බලත් හොත් කුසල් හා අව්‍යාකෘත වේ. අකුසල් නොවේ යනු භාව යි.) “පාපිච්ඡො ඉච්ඡාපකතො ආරඤ්ඤකො හොති” ‘පාපෙච්ඡ වැ ඉච්ඡායෙන් මඩනා ලදු වැ ආරණ්‍යක වෙයි’ යනාදින් පැමිණෙන බැවින් අකුසල වූ ත් ධුතාඞ්ග ඇත්තේ නො වේ දැයි යමෙක් විචාරන්නේ නම් එබන්දන් ගේ එබඳු අරණ්‍යක වීම අර්‍ථ වශයෙන් ධුතාඞ්ග නම් නො වේ යයි කිය යුතු. එබැවින් අකුසල් වන ධුතාඞ්ග නැත් මැ යි. (පාළියෙහි මේ සඳහා දක්වන ලද විස්තරයේ නිගමනය මෙපමණක් බැවින් මෙසේ සංක්‍ෂෙප කරන ලදී.)

 

ධුතාදීන් ගේ විභාග වශයෙන්

 

මෙහි ලා ධුතාය, ධුත වාදය, ධුත ධර්‍මය, ධුතාඞ්ගය, කවරෙකු හට ධුතාඞ්ගප්පාය වන්නේ ද යන මේ කරුණු දත යුතු යි.

 

ධුත නම් මෙහි ධුතාඞ්ග සමාදාන වශයෙන් කෙලේස කම්පා කළ ක්‍ෂීණාශ්‍ර‍ව පුද්ගලයා, තව ද කෙලෙස් කම්පා කරන ධර්‍ම හෝ ධුතය යි කියනු ලැබේ. එවිට ධුත නම් නිෂපර්‍ය්‍යායයෙන් සියලු ආර්‍ය්‍යමාර්‍ග ද, පර්‍ය්‍යායෙන් විදර්‍ශනාඥාය ද, යටත් පිරිසෙයින් ධුතාඞ්ගචෙතනා සම්ප්‍ර‍යුක්ත ඥානය ද වේ.

 

ධුතවාද නම් ධුතාඞ්ගයෙන් අනුනට අවවාද කරන පුද්ගලයා ය. එහි දු ධුතවාද නො වූ ධුත පුද්ගලයා ය, ධුතවාද වූ ධුත නො වන පුද්ගලයා ය, ධුතවාදත් නො වූ ධුතත් නොවූ පුද්ගලයා ය, ධුතවාදත් වූ ධුතත් වූ පුද්ගලයා යයි පුද්ගලයෝ සතර දෙනෙක් දත යුතු වෙත්.

 

බක්කුල තෙරුන් මෙන් යමෙක් තෙමේ ධුතාඞ්ගධර වැ අනුනට ධුතාඞ්ග සමාදානයට අවවාද නො කරන්නේ ද හෙතෙමේ ධුතවාද නො වූ ධුත පුද්ගලයා යි. කියන ලද මැ යි. “තයිදං ආයස්මා බක්කුලො ධුතො න ධුතවාදො” යි.

 

යමෙක් උපනන්‍ද තෙරුන් මෙන් තෙමේ ධුතාඞ්ගධර නො වැ අන්හට ධුතාඞ්ගයෙන් අවවාද කරන්නේ ද හෙතෙමේ ධුතවාද වූ ධුත නොවන පුද්ගලයා යි. කියන ලද මැ යි. “තයිදං ආයස්මා උපනන්‍දෙ සක්‍යපුත්තොන ධුතො ධුතවාදො” යි.

 

යමෙක් ශාරිපුත්‍ර‍ ස්වාමීන් මෙන් ඒ දෙකින් ම යුක්ත ද හෙතෙමේ ධුතවාදත් වූ ධුතත් වූ පුද්ගලය යි. කියන ලද මැයි. “තයිදං ආයස්මා සාරිපුත්තො ධුතො චෙව ධුතවාදොච” යි.

 

ධුතධර්‍ම නම්

 

“අප්පිච්ඡතං යෙව නිස්සාය” යනාදීන් වදාළ බැවින් අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සල්ලේඛතා, පවිවේකතා, ඉදමට්ඨිතා යන මේ පඤ්ච ධර්‍මයෝ ධුතාඞ්ග චේතනාවට පිරිවර වන බැවින් ධුත ධර්‍මයෝ යයි කියනු ලැබෙත්. (අප්පිච්ඡතා නම් අල්පෙච්ඡ භාවය යි. සන්තුට්ඨිතා නම් ලද දෙයින් සතුටුවීම් සඞ්ඛ්‍යාත දොළොස් වැදෑරුම් සන්තෝෂය යි. සල්ලේඛතා නම් කෙලෙස් ලියාලන බව යි, පවිවේකතා නම් උතුම් විවෙක භාවය යි. ඉදමට්ඨිතා නම් යම් නුවණකින් පැවිද්දන් විසින් ධුතාඞ්ගයෙහි පිහිටිය යුතුය යි කියන ලද ද ධුතාඞ්ග සමාදන් වැ පරිහරණය කරනු ලැබේ ද ඒ නුවණ යි. “ඉදමට්ඨිතා ඤාණමෙව” යනු එයින් කීහ.) මොවුන් අතුරෙන් අප්පිච්ඡතාව හා සන්තුට්ඨිතාව අලෝභයෙහි ද, සල්ලේඛතාව හා පවිවෙකතාව අලෝභ-අමෝහ දෙක්හි ද, ඉදමට්ඨිතාව අමෝහයෙහි ද ඇතුළත් වේ.

 

එ එසේ මැ යි:- මොවුන් අතුරෙන් අලෝභයෙන් ගෘහපති චීවරාදි ඒ ඒ ධුතාඞ්ගයෙන් ප්‍ර‍තික්‍ෂෙප කටයුතු වස්තුවෙහි ලෝභයද, අමෝහයෙන් ඒ ප්‍ර‍තික්‍ෂේප  කටයුතු වස්තුවෙහි ම ආරක්‍ෂාදුඃඛ පාරාධිනවෘත්ති චෝරභය යන ආදීනව මුවහ කරන මෝහය ද, කම්පාකොට හරින්නේ ය. (ආරක්‍ෂාදුඃඛ නම් රැක ගැනීමෙන් ලැබෙන දුක ය. පාරාධීනවෘත්ති නම් අනුන් අයත් පැවතුම් ඇති බව ය,) තව ද අලෝභයෙන් බුදුරජාණන් වහන්සේ විසින් නිච්ඡන්‍දරාග පරිභෝග වශයෙන් අනුදන්නා ලද සුවපහස් ඇති ඇතිරිළි ආදිය පරිභෝග කිරීමෙන් පැවති කාමසුඛානු යෝගය ද, අමෝහයෙන් අතිසල්ලේඛ වශයෙන් පැවති හෙවත් සුදුසු දෙය ද ප්‍ර‍තික්‍ෂේප කිරීම වශයෙන් පැවති අත්තකිලමථානු යෝගය ද කම්පාකොට හරින්නේ ය. එහෙයින් මෙකී ධර්‍මයෝ ධුතධර්‍මයෝ යයි දත යුතු.

 

ධුතාඞ්ග නම්

 

යට දැක්වුණු තෙලෙස් ධුතාඞ්ගයෝ ය. ඔවුන්ගේ ලක්‍ෂණාදිය යට කියන ලද මැයි.

 

කවරකුහට ධුතාඞ්ග සප්පාය වන්නේ ද

 

ධුතාඞ්ග වනාහි රාග චරිතයනට හා මෝහ චරිතයනට සප්පාය වන්නේ ය. කුමක්හෙයින්ද යත්? ධුතාඞ්ග සේවනය දුඃඛප්‍ර‍තිපදාවක් හා සල්ලේඛ විහරණයක් වන බැවිනි. දුඃඛ ප්‍ර‍තිපදායෙන් රාගය සන්සිඳෙන්නේ ය. රාගය සුඛෝපකරණ සේවනයෙන්න ලැබෙන හෙයිනි. සල්ලේඛ විහරණයෙන් අප්‍ර‍මාද පුද්ගලයා ගේ මෝහය සංසිඳෙන්නේ ය. සල්ලේඛය ලැබෙන්නේ ප්‍ර‍ඥාවත්හට බැවිනි. ප්‍ර‍ඥාව ඇති කල්හි අප්‍ර‍මාදය ලැබෙන හෙයින් මෝහය නො පිහිටන්නේ ය. තවද ආරඤ්ඤිකඞ්ග රුක්ඛමූලිකඞ්ගයෝ ද්වේෂ චරිතයනට ද සප්පාය වෙති යි කිය යුතු. අරණ්‍යයෙහි හා වෘක්‍ෂමූලයෙහි අනුන් සමඟ නො ගැටී සිටින්නහු ගේ ද්වේෂය සංසිඳෙන්නේ ය.

 

ධුතාදීන්ගේ විභාග වශයෙන් වර්ණනා යි.

 

සමාස හෙවත් සංක්‍ෂේප වශයෙන්

 

මේ ධුතාඞ්ග වනාහි උත්තමාඞ්ග තුනෙක අසම්භින්නාඞ්ග පසෙකැ යි සංක්‍ෂේප වශයෙන් අටෙකි. උත්තමාඞ්ග තුන නම් සපදානචාරිකඞ්ග, එකාසනිකඞ්ග, අබ්භොකාසිකඞ්ග යන තුනයි. (උත්තමාඞ්ග නම් අනෙක් ධුතාඞ්ගයක් නැති වැ නො පවත්නා සුවසේ රැකගත හැකි සෙසු ධුතාඞ්ග ද සංග්‍ර‍හ වන ධුතාඞ්ගයෝ ය.)

 

ඒ එසේ මැ යි:- සපදානචාරිකඞ්ගය රකින්නේ පිණ්ඩපාතිකඞ්ගය ද රකින්නේ ය.  ඒකාසනිකඞ්ගය රක්නාහට පත්තපිණ්ඩිකඞ්ග - ඛලුපච්ඡාභත්තිකඞ්ග පහසුවෙන් ම රැක ගත හැක. අබ්භෝකාසිකඞ්ගය රක්නාහට රුක්ඛමූලිකඞ්ග යථාසන්‍ථතිකඞ්ගයන් අතුරෙන් රැකිය යුතු කුමක් ඇත්තේ ද එහෙයින් මේ ධුතාඞ්ග තුන උත්තමාඞ්ගයෝ යයි කියනු ලැබෙත්.

 

ආරඤ්ඤිකඞ්ග, පංසුකූලිකඞ්ග, තෙචීවරිකඞ්ග, නෙසජ්ජිකඞ්ග, සොසානිකඞ්ග යන මේ පස අසම්භින්නාඞ්ගයෝ ය. අසම්භින්නාඞ්ගයෝ නම් අන්‍ය ධුතාඞ්ගයන් හා අමිශ්‍ර‍ ධුතාඞ්ගයෝ ය.

 

තවද චීවර පිළිබඳ දෙකෙක, පිණ්ඩපාත පිළිබඳ පසෙක, සේනාසන පිළිබඳ පසෙක, වීර්‍ය්‍යය පිළිබඳ එකෙකැ යි ධුතාඞ්ග සතර වැදෑරුම් ද වේ. එහි පංසුකූලිකඞ්ගය හා තෙචීවරිකඞ්ගය චීවර පිළිබඳ ය. පිණ්ඩපාතිකඞ්ග, සපදානචාරිකඞ්ග, එකාසනිකඞ්ග, පත්තපිණ්ඩිකඞ්ග, ඛලුපච්ඡාභත්තිකඞ්ග යන පස පිණ්ඩපාත, පිළිබඳ ය. ආරඤ්ඤිකඞ්ග, රුක්ඛමූලිකඞ්ග, අබ්භොකාසිකඞ්ග, සොසානිකඞ්ග, යථාසත්‍ථතිකඞ්ග යන පස සේනාසන පිළිබඳ ය. නෙසජ්ජිකඞ්ගය වීර්‍ය්‍යය පිළිබඳ යි.

 

තවද පච්චයසන්නිස්සිත දොළොසක, වීරියසන්නිස්සිත එකෙකැයි සියලු ධුතාඞ්ග නිස්සය වශයෙන් දෙවැදෑරුම් ද වේ. විභාගය සුබොධ යි.

 

තව ද සේවනය කළ යුතු සේවනය නො කළ යුතු වශයෙන් ද, ධුතාඞ්ග දෙවැදෑරුම් වේ. ධුතාඞ්ග සෙවුනා කල්හි කර්‍මස්ථාන වැඩෙන්නේ නම් ඔහු විසින් එය සේවනය කළ යුතු. යමෙකුගේ කර්‍මස්ථාන පිරිහෙන්නේ නම් ඔහු විසින් සේවනය නොකළ යුතු. ධුතාඞ්ග සේවනය කළ ද නොකළ ද යමෙකු ගේ කර්‍මස්ථාන වැඩෙන්නේ නම් නො පිරිහෙන්නේ නම් ඔහු විසින් පශ්චිම ජනතාවට අනුකම්පායෙන් සේවනය කළ යුතු. ධුතාඞ්ග සේවනය කළ ද නො කළද යමෙකුගේ කර්‍මස්ථාන නො වැඩෙන්නේ නම් ඔහු විසිනුදු මතු වාසනා පිණිස සේවනය කළ යුතු.

 

මේ සියලු ධුතාඞ්ග වනාහි සමාදානචේතනා වශයෙන් එක් වැදෑරුමි. “යා චෙතනා තං ධුතඞ්ග වදන්ති” යනු අටුවායෙහි දු කියන ලදී.

 

සමාස හෙවත් සංක්‍ෂේප වශයෙන් වර්ණනා යි.

 

ව්‍යාස හෙවත් විස්තර වශයෙන්

 

භික්‍ෂූන්ට තෙළෙසෙක, භික්ඛුනීන්ට අටෙක, සාමණෙරයන්ට දොළොසෙක, සික්ඛමාතාවන්ට හා සාමණෙරීන්ට සතෙක, උපාසකයන්ට හා උපාසිකාවන්ට දෙකෙකැයි විස්තර වශයෙන් ධුතාඞ්ග දෙසාලිසෙකි. ඉදින් අභ්‍යවකාශයෙහි ආරඤ්ඤිකඞ්ගයට ද සුදුසු වූ සොහොනක් ලැබේ නම් එක භික්‍ෂුවකට කවර සියලු ධුතාඞ්ග සමාදන් වැ රැක්ක හැකිය.

 

භික්ඛුනීන්ට වනාහි ආරඤ්ඤිකඞ්ගය හා ඛලුපච්ඡභන්තිකඞ්ගය ශික්‍ෂාපදයෙන් ම තහනම් කරන ලද්දේ ය. අබේහොකාසිකඞ්ගය, රුක්ඛමූලිකඞ්ගය, සොසානිකඞ්ගය යන තුන ඔවුන්ට පුරාගත නො හැකිය. කුමක් හෙයින්ද දෙවැන්නකු නැති වැ විසීම නුසුදුසු බැවිනි. මෙබඳු තන්හි එක් වැ විසීමට සුදුසු සමාන අදහස් ඇති දෙවැන්නකු ලබා ගැනීම ද දුෂ්කරය. ඉදින් ලබා ගත්ත ද සංසට්ඨ විහරණයෙන් නො මිදෙන්නේ ය. සංසට්ඨ විහරණය ඇති වුවහොත් ධුතාඞ්ග සමාදානයෙහි නියම ප්‍රයෝනය නො ලැබෙන්නේ ය. එබැවින් මේ ධුතාඞ්ග තුන හා මුල කී ධුතාඞ්ග දෙක හැර සෙසු අට භික්‍ෂූන්ට රැක්ක හැකිය යි දතයුතු.

 

තේචීවරිකඞ්ගය හැරැ සෙසු දොළොස සාමණේරයනට රැක්ක හැකි ය.

 

සික්ඛමාතාවන්ට හා සාමණෙරීන්ට තෙචීවරිකඞ්ගය ද භික්‍ෂූනීන්ට තහනම් කළ පස ද යන සය හැරැ සෙසු ධුතාඞ්ග සත රැක්ක හැකි ය. උපාසක උපාසිකාවන්ට ඒකාසනිකඞ්ගය, පත්තපිණ්ඩිකඞ්ගය යන දෙක පමණක් සුදුසු ය. රැක්ක ද හැකි දෙක පමණක් සුදුසු ය. රැක්ක ද හැකි මෙසේ විස්තර වශයෙන් ධුතාඞ්ග දෙසාලිසෙකි.

 

ව්‍යාස හෙවත් විස්තර වශයෙන් වර්ණනා යි.

 

මෙතෙකින් “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො” යනාදි ගාථාව පිළිබඳ ශීල, සමාධි, ප්‍ර‍ඥා මුඛයෙන් වදාළ විශුද්‍ධි මාර්‍ගයෙහි අප්පිච්ඡතාදි යම් ගුණයෙකින් යට දැක්වුණු ශීලයාගේ පාරිශුද්‍ධිය වේ ද ඒ ගුණ සම්පාදනය පිණිස සමාදන් විය යුතු ධුතාඞ්ග කථාව දක්වන ලද්දේ යි.

 

සජ්ජන ප්‍රමෝදය පිණිස කළ

විශුද්‍ධිමාර්‍ගයේ ධුතාඞ්ග නිර්‍දෙශ නම් ද්‍විතීය පරිච්ඡේද යි.

 


3 වන පරිච්ඡේදය

කර්මස්ථානග්‍රහණ නිර්දේශය

නමො භගවතො සම්බුද්ධස්ස

 

ධුතාඞ්ග පරිහරණයෙන් අල්පේච්ඡතාදි ගුණ ලැබෙන්නේ ය. අල්පේච්ඡතාදි ගුණයෙන් ශීලය ඔප වැටෙන්නේ ය. යට දැක්වුනු ධුතාඞ්ග පරිහරණයෙන් ලත් අල්පෙච්ඡතාදි ගුණයෙන් ඔප ලා ගත් ශීලයෙන් යුක්ත භික්‍ෂු විසින් මතු කුමක් කළ යුතු ද “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤංච භාවයං” යි චිත්ත ශීර්‍ෂයෙන් වදාළ සමාධි වැඩිය යුතු ය. “චිත්තං භාවයං” යි ගාථායෙහි ඒ සඳහා වදාළ‍ දේශනාව ඉතා සංක්‍ෂිප්ත ය. එයින් සමාධි වඩනු තබා ඒ දැනගැන්ම පවා දුෂ්කර ය. එබැවින් ඒ සමාධි පිළිබඳ විස්තරය ද, වඩන ක්‍ර‍මය ද, ප්‍ර‍ශ්නෝත්තර වශයෙන් මෙහි දක්වනු ලැබේ.

 

ප්‍ර‍ශ්න මෙසේ ය.

 

1.  සමාධි නම් කිම

2.  කවර අර්‍ථයකින් සමාධිය යි කියනු ලැබේ ද

3.  සමාධි පිළිබඳ ලක්‍ෂණ - රස-පච්චුපට්ඨාන - පදටඨාන කවරේද

4.  සමාධි කී වැදෑරුම් ද

5.  සමාධියෙහි කිලිටි බව කිමෙක් ද

6.  සමාධියෙහි පිරිසිදු බව කිමෙක් ද

7.  සමාධි වැඩිය යුතු කෙසේ ද

8.  සමාධි භාවනායෙහි ආනිසංස කවරේ ද

 

උත්තර මෙසේ ය.

 

1.  සමාධි නම් කිම

 

සමාධි නානාවිධ ය. ඒ සියල්ල විසඳන්නට ගියහොත් මෙහි අභිප්‍රේතාර්‍ථය සිද්ධ නො වන්නේ ය. මතු වික්‍ෂේප පිණිස ද වන්නේ ය. එබැවින් මෙහි ලා අදහස් කරනු ලබන අර්‍ථය පමණක් කියමි. ‘සමාධි නම් කුසල් සිත් පිළිබඳ ඒකාග්‍ර‍තාව යි.’

 

2.  කවර අර්‍ථයකින් සමාධිය යි කියනු ලැබේ ද

 

සමාධානාර්‍ථයෙන් සමාධිය යි කියනු ලැබේ. සමාධාන නම් කිම? චිත්ත - චෛතසිකයන් ඔබ මොබ විසිර යා නොදී මනා කොටැ - අවික්‍ෂේප වශයෙන් එක අරමුණෙහි පිහිටුවා ලීම ය. එ බැවින් යම් ධර්‍මයෙක බලයෙන් චිත්ත-චෛතසික එක අරමුණෙහි සම වැ - මනා වැ - අවික්‍ෂේප වැ - අවිප්‍ර‍කිර්‍ණ වැ පවත්නේ ද ඒ ධර්‍මය මෙහි සමාදානය යි කී නියා දත යුතු.

 

3.  සමාධි පිළිබඳ ලක්‍ෂණ-රස-පච්චුපට්ඨාන-පදට්ඨාන කවරේද

 

සමාධියෙහි ලක්‍ෂණය අවික්‍ෂේපය යි හෙවත් නානා ලම්බනයෙහි නො විසිරෙන බවයි. (ලක්‍ෂණ නම් සාමාන්‍ය ස්වභාවය. “ධම්මානං සාමඤ්ඤ සභාවො ලක්ඛණං”) රසය වික්‍ෂේප විධ්වංසනය යි හෙවත් නො සන්සුන් බව නැති කිරීම යි. (රස නම් කෘත්‍ය හෝ සම්පත්තිය. “කිච්චසම්පත්තියොරසො”) පච්චුපට්ඨානය අවිකම්පනය යි. හෙවත් උද්ධච්ච හේතුයෙන් කම්පා නැති බවයි. (පච්චුපට්ඨාන නම් වැටහෙන ආකාරය හෝ ඵලය “උපට්ඨානා කාරො ඵලං ච පච්චුපට්ඨානා”) “සුඛිනො චිත්තං සමාධියති”[167] යනු වදාළ හෙයින් සුඛය පදට්ඨානය යි. (පදට්ඨාන නම් ආසන්න කාරණය යි. හෙවත් හේතුව යි. “කාරණං යං සමාසත්තං පදට්ඨානංති තං මතං”).

 

4.  සමාධි කී වැදෑරුම් ද

 

අවික්‍ෂේප ලක්‍ෂණයෙන් සමාධි එක් වැදෑරුමි. උපචාර සමාධි අර්පණා සමාධි වශයෙන් ද, ලෞකික සමාධි, ලොකොත්තර සමාධි වශයෙන්ද, සප්පීතිකසමාධි, නිප්පීතිකසමාධි වශයෙන් ද, සුඛසහගත සමාධි, උපෙක්ඛාසහගත සමාධි වශයෙන් ද දෙවැදෑරුම් වේ.

 

හීනසමාධි, මධ්‍යමසමාධි, ප්‍ර‍ණිතසමාධි වශයෙන් ද, සචිතක්කසවිචාරසමාධි, අවිතක්කවිචාරමත්තසමාධි, අවිතක්කඅවිචාරසමාධි වශයෙන් ද, පීතිසහගත සමාධි, සුඛසහගත සමාධි, උපෙක්ඛාසහගත සමාධි වශයෙන් ද, පරිත්තසමාධි, මහග්ගතසමාධි, අප්පමාණ සමාධි වශයෙන් ද තෙවැදෑරුම් වේ.

 

දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා, සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤා වශයෙන් ද, පරිත්තපරිත්තාරම්මණ, පරිත්තඅප්පමාණා-රම්මණ, අප්පමාණපරිත්තාරම්මණ, අප්පමාණඅප්පමාණාරම්මණ වශයෙන් ද, චතුර්‍ධ්‍යානාඞ්ග වශයෙන් ද, හානභාගිය, ඨිතිභාගිය, විසේසභාගිය, නිබේබධභාගිය වශයෙන් ද, කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න වශයෙන් ද, ඡන්‍ද, චිත්ත, විරිය, විමංසා වශයෙන් ද සිව්වැදෑරුම් වේ.

 

පඤ්චධ්‍යානාඞ්ග වශයෙන් පස් වැදෑරුම් වේ. මේ සියල්ල පිළිබඳ විශේෂ විභාග මතු දක්වනු ලැබේ. එයිනුදු අවික්‍ෂේප ලක්‍ෂණයෙන් සමාධි එක්වැදෑරුම්ය යි කී අර්‍ථය සුගම ය. විශේෂයෙන් වර්‍ණනා කළ යුත්තෙක් නැත.

 

 

 

ප්‍ර‍ථම ද්විකය.

අපචාරසමාධි හා අර්පණාසමාධි

 

බුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණසති, ආහාරෙ පටික්කූලසඤ්ඤ, චතුධාතු වවත්‍ථාන යන දශකර්‍ම ස්ථානයන් ගේ වශයෙන් ලැබෙන එකග්ගතාව ද, අර්පණා සමාධියට පූර්‍වභාගයෙහි ලැබෙන එකග්ගතාව ද උපචාර සමාධි නම් වේ. “පඨමස්ස ඣානස්ස පරිකම්මං පඨමස්ස ඣානස්ස අනන්තර පච්චයෙන පච්චයො”[168] ප්‍ර‍ථම ධ්‍යානයාගේ පරිකර්‍මය ප්‍ර‍ථම ධ්‍යානයට අනන්තර ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. යනාදීන් වදා බැවින් ගෝත්‍ර‍භූ සංඛ්‍යාත පරිකර්‍මයට අනතුරු වැ ලැබෙන එකාග්‍ර‍තාව අර්පණා සමාධි නම් වේ. (මේ පිළිබඳ විස්තරය මතු පළ වේ.)

 

ද්විතීය ද්විකය

ලෞකිකසමාධි හා ලෝකෝත්තරසමාධි

 

කාම, රූප, අරූප යන භූමිත්‍රයෙහි කුසල චිත්ත එකග්ගතාව ලෞකික සමාධි ය. ආර්‍ය්‍ය මාර්‍ග සම්ප්‍ර‍යුක්ත වූ එකග්ගතාව ලෝකෝත්තර සමාධි යි. (ආර්‍ය්‍ය මාර්‍ග නම් සෝවාන් ආදිය යි.)

 

තෘතීය ද්විකය

සප්පීතිකසමාධි හා නිප්පීතිකසමාධි

 

චතුෂ්කනය වශයෙන් ප්‍ර‍ථම - ද්විතීය ධ්‍යාන දෙක්හි ද, පඤ්චකනය වශයෙන් ප්‍ර‍ථම - ද්විතීය - තෘතීය ධ්‍යාන තුනෙහි ද, පවත්නා එකග්ගතාව සප්පීතිය සමාධි ය. චතුෂ්කනය වශයෙන් තෘතීය-චතුර්‍ථ ධ්‍යාන දෙක්හි ද පඤ්චකනය වශයෙන් චතුර්‍ථපඤ්චම ධ්‍යාන දෙක්හි ද පවත්නා සමාධි නිප්පීතික සමාධි යි. උපචාර සමාධි වනාහි සප්පීතික ද නිප්පීතික ද වන්නේ ය.

 

චතුර්ථ ද්විකය.

සුඛසහගත හා උපෙක්ඛාසහගත සමාධි

 

චතුෂ්කනය වශයෙන් ප්‍ර‍ථම-ද්විතීය-තෘතීය-ධ්‍යානයන්හි ද, පඤ්චකනය වශයෙන් ප්‍ර‍ථම-ද්විතීය-තෘතීය-චතුර්‍ථ ධ්‍යානයන්හි ද, එකග්ගතාව සුඛසහගත සමාධිය චතුෂ්කනය වශයෙන් චතුර්‍ථ ධ්‍යානයෙහි ද පඤ්චකනය වශයෙන් පඤ්චම ධ්‍යානයෙහි ද, ඒකග්ගතාව සුඛසහගත සමාධි යි. උපචාර සමාධි වනාහි සුඛ සහගත ද උපේක්‍ෂාසහගත ද වන්නේ ය.

 

ප්‍ර‍ථම ත්‍රිකය

හීන, මද්‍ධ්‍යම, ප්‍ර‍ණීත, සමාධි

 

ආසේචිත නො වූ ලද මාත්‍ර‍ සමාධි හීන ය. අතිශය ප්‍ර‍ගුණ බවට නො පමුණුවන ලද සමාධි මධ්‍යම ය. අතිශය ප්‍ර‍ගුණ බවට පමුණුවන ලද සමාධි ප්‍ර‍ණීත යි.

 

ද්විතීය ත්‍රිකය

සවිතක්කසවිචාර, අවිතක්ක විචාරමත්ත, අවිතක්කඅවිචාර සමාධි

 

උපචාරසමාධි හා සමග ප්‍ර‍ථම ධ්‍යානය සවිතක්කසවිචාර සමාධියි පඤ්චකනයද්වියෙහි ද්විතීය ධ්‍යානය අවිතක්ක විචාර මත්ත සමාධි යි එහි අදහස නම් යමෙක් විචාරයෙහි නො වැ විතර්‍කයෙහි පමණක් ආදීනව දැකැ හුදෙක් විතර්‍කය පමණක් ප්‍ර‍හාණය කරනු කැමැති වැ ප්‍ර‍ථම ධ්‍යානය ඉක්මවා ද්විතීය ධ්‍යානය ලබන්නේ ද ඔහුගේ ඒ සමාධිය අවිතක්කවිචාරමත්තසමාධිය වන්නේ ය යනුයි. චතුෂ්කනය වශයෙන් තෘතීය ධ්‍යානාදියෙහි ද එකග්ගතාව අවිතක්කඅවිචාර සමාධි යි.

 

තෘතීය ත්‍රිකය

පීති, සුඛ, උපෙක්ඛා, සහගත සමාධි

 

චතුෂ්කනය වශයෙන් ප්‍ර‍ථම - ද්විතීය ධ්‍යානයන්හි ද, පඤ්චකනය වශයෙන් ප්‍ර‍ථම-ද්විතීය-තෘතීය ධ්‍යානයන්හි ද, එකග්ගතාව පීති සහගත සමාධි යි. චතුෂ්කනය වශයෙන් තෘතීය ධ්‍යානයෙහි ද, පඤ්චකනය වශයෙන් චතුර්‍ථ ධ්‍යානයෙහි ද, එකග්ගතාව සුඛ සහගත සමාධියි. චතුෂ්කනය වශයෙන් චතුර්‍ථ ධ්‍යානයෙහි ද, පඤ්චකනය වශයෙන් පඤ්චම ධ්‍යානයෙහි ද එකග්ගතාව උපෙක්ඛා සහගත සමාධියි. උපචාර සමාධි වනාහි පීති සුඛ සහගත හේ උපේක්‍ෂා සහගත හෝ වන්නේ ය.

 

චතුර්ථ ත්‍රිකය

පරිත්ත, මහග්ගත, අප්පමාණ සමාධි

 

උපචාර භූමියෙහි එකග්ගතාව කාමාවචර බැවින් පරිත්ත සමාධි නම් වේ. රූපාවචර-අරූපාවචර කුසලයන් පිළිබඳ එකග්ගතාව මහග්ගත සමාධි නම් වේ. ආර්‍ය්‍ය මාර්‍ග සම්ප්‍ර‍යුක්ත එකග්ගතාව අප්‍ර‍මාණ සමාධි නම් වේ.

 

ප්‍ර‍ථම චතුෂ්කය

 

(1) දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤ, දුක්ඛාපටිපදා, ඛිප්පාභිඤ්ඤ, සුඛාපටිපදා දන්‍ධභිඤ්ඤ, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤ සමාධි.

(1) දුඃඛ වූ ප්‍ර‍තිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති සමාධියෙක් ද

(2) දුඃඛ වූ ප්‍ර‍තිපදා ඇති ක්‍ෂිප්‍ර‍ වූ අභිඥා ඇති සමාධියෙක් ද

(3) සුඛ වූ ප්‍ර‍තිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති සමාධියෙක් ද

(4) සුඛ වූ ප්‍ර‍තිපදා ඇති ක්‍ෂිප්‍ර‍ වූ අභිඥා ඇති සමාධියෙක් දැ යි සමාදි චතුෂ්කයෙක් ඇත්තේ යැ.

 

එහි ප්‍ර‍තිපදා නම් භාවනාවට පටන්ගන්නවුන් ගේ පඨවි පඨවි යනාදීන් කරන ප්‍ර‍ථමාභිනිවේශයෙහි පටන් ඒ ඒ ධ්‍යාන පිළිබඳ උපචාරය උපදින තාක් පවත්නා සමාධි භාවනාව යි. උපචාරයෙහි පටන් අර්පණාව තාක් පවත්නා ප්‍ර‍ඥාව අභිඥාය යි කියනු ලැබේ. ඇතැම් කෙනෙකුන්ට ඒ ප්‍ර‍තිපදාව දුක් සහගත වේ. නීවරණාදි විරුද්ධ ධර්‍මයන් ගේ පැවැත්මේ බලවත් බැවිනි. දුක්සහගත වීම නම් පහසුවෙන් නො පවත්නා බවයි. ඇතැම් කෙනෙකුන්ට සුඛසහගත වේ. නීවරණාදි විරුද්ධ ධර්‍මයන් ගේ බලවත් පැවැත්මක් නැති බැවිනි සුඛසහගත නම් පහසුවෙන් පවත්නා බව යි. අභිඥාව ද ඇතැම් කෙනෙකුනට දන්‍ධ වේ. දන්‍ධ නම් මඳ වැ පැවැත්ම ශීඝ්‍ර‍ වැ නො පැවැත්මය යි සේයි. ඇතැම් කෙනෙකුනට ක්‍ෂිප්‍ර‍ වේ. ක්‍ෂිප්‍ර‍ නම් නො මඳ වැ පැවැත්ම ශීඝ්‍ර‍  ප්‍ර‍වෘධ්තිය යි සේයි.

 

ප්‍ර‍තිපදාව දුඃඛ සුඛ වීමේ ද,

අභිඥාව දන්‍ධ ක්‍ෂිප්‍ර‍ වීමේ ද හේතු.

 

යම් කෙනෙක් මතු දැක්වෙන සප්පාය අසප්පායයන්හි ද, පළිබෝධ සිඳලීම් ආදි පූර්‍ව කෘත්‍යයන්හි ද අර්පණා කෞශල්‍යයන්හි ද, සප්පාය සේවනය නො ලබද් ද, ඔවුන්ගේ ප්‍ර‍තිපදාව දුඃඛ වේ; අභිඥාව දන්‍ධ වේ. එහි සප්පාය සේවනය ලබන්නවුන්ගේ ප්‍ර‍තිපදාව ද සුඛ වේ. අභිඥා ක්‍ෂිප්‍ර‍ වේ. යම් කෙනෙක් වනාහි පූර්‍වභාගයෙහි සප්පාය නො ලැබැ අපරභාගයෙහි සප්පාය ලබද් ද, පූර්‍වභාගයෙහි හෝ සප්පාය ලැබැ අපරභාගයෙහි සප්පාය නො ලබද්ද ඔවුන්ට මේ දෙක පිළිබඳ ව්‍යතිමිශ්‍ර‍කත්වය වන්නේ ය. හෙවත් දුක්ඛපටිපදාව හා ඛිප්පාභිඤ්ඤාව ද, සුඛපටිපදාව හා දන්‍ධාභිඤ්ඤාව ද වන්නේය ය දත යුතුයි.

 

එසේ ම පලිබෝධ සිඳැලීම් ආදි පූර්‍වකෘත්‍ය සම්පාදනය කොටැ නො ගෙනැ භාවනායෙහි යෙදෙන්නවුන් ගේ ප්‍ර‍තිපදාව දුක්ඛ වේ. එසේ සම්පාදනය කොටැ ගෙන භාවනායෙහි යෙදෙන්නවුන් ගේ ප්‍ර‍තිපදාව සුඛ වේ. අර්පණා කෞශල්‍යය සම්පාදනය කැරැ නො ගන්නවුන් ගේ අභිඥාව දන්‍ධ වේ. අර්පණා කෞශල්‍යය සම්පාදනය කැරැ ගන්නවුන් ගේ අභිඥාව ක්‍ෂිප්‍ර‍ වේ. (මෙහි දු ව්‍යතිමිශ්‍ර‍කත්‍වය පෙර කී සේ සැලකිය යුතුයි.)

 

තවද තෘෂ්ණා වශයෙන් හා අවිද්‍යා වශයෙන් ද, සමථාධිකාර වශයෙන් හා විදර්‍ශනාධිකාර වශයෙන් ද, මොවුන්ගේ ප්‍රභේද දත යුතු ය.

 

ඒ එසේ මැ යි:- තෘෂ්ණාව සමාධියට ඉඳුරා විරුද්ධ බැවින් තෘෂ්ණාධිකයන් ගේ ප්‍ර‍තිපදාව දුඃඛ ය. තෘෂ්ණාධික නො වූවන් ගේ ප්‍ර‍තිපදාව සුඛ ය. අවිද්‍යාව ප්‍ර‍ඥාවට ඉඳුරා විරුද්ධ බැවින් අවිද්‍යාදිකයන් ගේ අභිඥාව දන්‍ධය. අවිද්‍යාධික නො වූවන්ගේ අභිඥාව ක්‍ෂිප්‍ර‍ යි. ජන්මාන්තරයෙහි සමථය පුරුදු නොකළවුන් ගේ ප්‍ර‍තිපදාව දුඃඛය. ජන්මාන්තරයෙහි සමථය පුරුදු කළවුන් ගේ ප්‍ර‍තිපදාව සුඛය. ජන්මාන්තරයෙහි විදර්‍ශනාව පුරුදු නො කළවුන්ගේ ප්‍ර‍තිපදාව සුඛය. ජන්මාන්තරයෙහි විදර්‍ශනාව පුරුදු නො කළවුන්ගේ අභිඥාව දන්‍ධ ය. පුරුදු කළවුන්ගේ ක්‍ෂිප්‍ර‍යි.

 

තවද ක්ලේශයන් ගේ හා ඉන්‍ද්‍රියන් ගේ වශයෙන් ද මොවුන් ගේ ප්‍රභේදය දත යුතුය. තියුණු වූ කාමච්ඡන්‍දාදි ක්ලේශයන් ඇති මෘදු වූ ශ්‍ර‍ද්‍ධාදි ඉන්‍ද්‍රියයන් ඇත්තවුන් ගේ ප්‍ර‍තිපදාව දුඃඛ ය. අභිඥාව දන්‍ධය. එබඳු වූ ම තික්‍ෂණ වූ ශ්‍ර‍ද්ධාදි ඉන්‍ද්‍රියයන් ඇත්තවුන්ගේ අභිඥාව ක්‍ෂිප්‍ර‍ යි. මඳ වූ කෙලෙස් ඇති මෘදු වූ ඉඳුරන් ඇත්තවුන්ගේ අභිඥාව ක්‍ෂිප්‍ර‍ යි.

 

මෙසේ මේ දැක්වුණු ප්‍ර‍තිපදා-අභිඥා අතුරෙන් යමෙක් දුඃඛ ප්‍ර‍තිපදායෙන් හා දන්‍ධ අභිඥායෙන් සමාධි ලබන්නේ ද ඔහුගේ ඒ සමාධි දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා යි කියනු ලැබ්. සෙස්සෙහි දු ක්‍ර‍මය මෙසේ යි.

 

ද්විතීය චතුෂ්කය

 

1.  පරිත්ත පරිත්තාරම්මණ

2.  පරිත්ත අප්පමාණාරම්මණ

3.  අප්පමාණ පරිත්තාරම්මණ

4.  අප්පමාණ අප්පමාණාරම්මණ සමාධි

 

1. පරිත්ත වූ පරිත්තාරම්මණ සමාධිය, 2. පරිත්ත වූ අප්පමාණාරම්මණ සමාධිය, 3. අප්පමාණවූ පරිත්තාරම්මණ සමාධිය, 4. අප්පමාණ වූ අප්පමාණාරම්මණ සමාධිය යි වැළිත් සමාධි චතුර්විධ වේ.

 

2. ප්‍ර‍ගුණ නොකළ වසඟ කැරැ නො ගත්, මතු ධ්‍යාන පිණිස ප්‍ර‍ත්‍යය වන්නට අසමර්‍ථ සමාධි පරිත්තය. හෙමැ නො වඩන ලද කසිණාරම්මණයෙහි පැවැතියේ පරිත්තාරම්මණ ය.

 

3. ප්‍ර‍ගුණ කළ වසඟ කැරැ ගත්, මතු ධ්‍යාන පිණිස ප්‍ර‍ත්‍යය වන්නට සමර්‍ථ සමාධි අප්පමාණය හෙමැ වඩන ලද අරමුණෙහි පැවැතියේ අප්පමාණාරම්මණයි. සෙසු සමාධි දෙක මේ ගුණද්වයයෙන් මිශ්‍ර‍ වූ පරිදි දත යුතුයි.

 

තෘතීය චතුෂ්කය

ධ්‍යානාඞ්ග සතර වශයෙන් සමාධි චතුර්විධ වේ.

 

1.  පඤ්චනීවරණයෙන් විෂ්කම්භනය කැරැ ලන විතර්‍ක විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍ර‍තා යන අඞ්ග පඤ්චකයෙන් යුක්ත වූයේ ප්‍ර‍ථම ධ්‍යාන ය.

 

2.  විතර්‍ක විචාර සංසිඳුවීමෙන් ප්‍රීති, සුඛ, ඒකාග්‍ර‍තා යන අඞ්ග ත්‍රිකයෙන් යුක්ත වූයේ ද්විතීය ධ්‍යාන ය.

 

3.  ප්‍රීතිය සංසිඳුවීමෙන් සුඛ, ඒකාග්‍ර‍තා යන අඞ්ගද්වයයෙන් යුක්ත වූයේ තෘතීය ධ්‍යාන ය.

 

4.  සුඛ සංසිඳුවීමෙන් උපේක්‍ෂා, ඒකාග්‍ර‍තා යන අඞ්ගද්වයයෙන් යුක්ත වූයේ චතුර්‍ථ ධ්‍යාන යි.

 

චතුර්‍ථ චතුෂ්කය

1. හානභාගිය 2. ඨිතිභාගිය  3. විසෙසභාගිය 4. නිබේබධභාගිය සමාධි.

 

1. හානභාගිය 2. ඨිතිභාගිය 3. විසේසභාගිය 4. නිබේබධභාගිය සමාධියයි සමාධි චතුර්විධ වේ.

 

1.  හානභාගිය සමාධි නම් පිරිහීම සෙවුනා සමාධි යි. ඒ වනාහි ඒ ඒ ධ්‍යානයන්ට ප්‍ර‍තිපක්‍ෂ වූ නීවරණ - විතර්‍ක-විචාරාදීන් ගේ පැවැත්මෙන් වන්නේ ය. “පඨමස්ස ඣානස්ස ලාභිනො කාමසහගතසඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා”[169] ‘ප්‍ර‍ථම ධ්‍යාන ලාභීහට කාමාස්වාදයෙන්  කාමාලම්භන වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් පරිහානිය සෙවුනා ප්‍ර‍ඥාව යි’ යනු එහෙයින් කීහ.

 

2.  ඨිතිභාගිය සමාධි නම් (පිරිහීම හෝ වැඩීම් නැති වැ) ස්ථිතිය සෙවුනා සමාධි යි. ඒ වනාහි තදනුරූප ස්මෘතියගේ පැවැත්මෙන් වන්නේ ය. “තදනුධම්මා සති සත්තිට්ඨිති ඨිතිභාගිනී පඤ්ඤා”[170] යනු එහෙයින් කීහ.

 

3.  විසේසභාගිය සමාධි නම් විශේෂ (වැඩීම) සෙවුනා සමාධි යි. ඒ වනාහි මතු විශේසාධිගමයට ප්‍ර‍ත්‍යය වශයෙන් වන්නේ ය. “අවිතක්කසහගතා සඤ්ඤමනසිකාරා සමුදා චරන්ති විසෙස භාගිනී පඤ්ඤා”[171] අවිතර්‍කාලම්බන වූ සංඥා මනස්කාරයෝ වෙත් නම් විශේෂ සෙවුනා ප්‍ර‍ඥාව යි’ යනු එ හෙයින් කීහ.

 

4.  නිබේබධභාගිය සමාධි නම් නිවන් සෙවුනා සමාධි යි. ඒ වාහි ආදිනව දර්‍ශනය පූර්‍ව කොටැ ඇති නිබ්බිදාසහගත සංඥා මනස්කාරයන්ගේ වශයෙන් වන්නේ ය. “නිබ්බිදාසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති විරාගුපසංහිතා නිබ්බෙධ භාගිනී පඤ්ඤා”[172] යනු එයින් කීහ. යට දැක්වුණු චතුර්විධ ප්‍ර‍ඥායෙන් යුක්ත බැවින් සමාධිය ද චතුර්විධ ය යි දත යුතු යි.

 

පඤ්චම චතුෂ්කය

 

1.  කාමාවචර, 2. රූපාවචර, 3. අරූපාවචර, 4. අපරියාපන්න සමාධි.

1.  සියලු උපාවාරයන්හි පවත්නා ඒකාග්‍ර‍තා කාමාවචර සමාධිය යි.

2.  රූපාවචර කුශල චිත්තයන්හි පවත්නා ඒකාග්‍ර‍තා රූපාවචර සමාධිය යි.

3.  අරූපාවචර කුශල චිත්තයන්හි පවත්නා ඒකාග්‍ර‍තා අරූපාවචර සමාධිය යි.

4.  ලෝකොත්තර කුශල චිත්තයන්හි පවත්නා ඒකග්‍ර‍තා අපරියාපන්න සමාධිය යි.

 

ෂෂ්ඨ චතුෂ්කය

1. ඡන්ද 2. විරිය 3. චිත්ත 4. විමංසා සමාධි

 

1.  භික්‍ෂු කෙනෙක් ඡන්‍දය අධිපති කොට සමාධියක් (සිත්හි එකඟතාවක්) ලබද් ද එය ඡන්‍ද සමාධිය යි කියනු ලැබේ.

2.  භික්‍ෂු කෙනෙක් වීර්‍ය්‍යය අධිපති කොට සමාධියක් (සිත්හි එකඟතාවක්) ලබද් ද එය විරිය සමාධිය යි කියනු ලැබේ.

3.  භික්‍ෂු කෙනෙක් චිත්තය අධිපති කොට සමාධියක් (සිත්හි එකඟතාවක්) ලබද් ද එය චිත්ත සමාධිය යි කියනු ලැබේ.

4.  භික්‍ෂු කෙනෙක් ප්‍ර‍ඥාව අධිපති කොට සමාධියක් (සිත්හි එකඟතාවක්) ලබද් ද එය විමංසා සමාධිය යි කියනු ලැබේ.

 

පඤ්චවිධ සමාධි

1.  විතර්‍ක - විචාර - ප්‍රීති - සුඛ - ඒකාග්‍ර‍තා යන අඞ්ග පඤ්චකයෙන් යුක්ත වූයේ ප්‍ර‍ථම ධ්‍යාන සමාධි යි.

2.  විතර්‍කය පමණක් ඉක්මීමෙන් විචාර - ප්‍රීති - සුඛ - ඒකාග්‍ර‍තා යන අඞ්ග චතුෂ්කයෙන් යුක්ත වූයේ ද්විතීය ධ්‍යාන සමාධි යි.

3.  විචාරය ද ඉක්මීමෙන් ප්‍රීති - සුඛ - ඒකාග්‍ර‍තායෙන් යුක්ත වූයේ තෘතීය - ධ්‍යාන සමාධි යි.

4.  ප්‍රීතිය ද ඉක්මීමෙන් සුඛ - ඒකාග්‍ර‍තායෙන් යුක්ත වූයේ ප්‍ර‍ථම චතුර්‍ථ - ධ්‍යාන සමාධි යි.

5.  සුඛ හැර ඒ සිලව්වට උපේක්‍ෂාව ලැබ එයින් හා ඒකාග්‍ර‍තායෙන් යුක්ත වූයේ පඤ්චම ධ්‍යාන සමාධි යි.

 

චතුෂ්කනයයෙහි විතර්‍ක - විචාර දෙක ම එකවර ඉක්මීමෙන් ද්විතීය ධ්‍යානය විය.

 

මෙහි විතර්‍කය පමණක් ඉක්මවීමෙන් ද්විතීය ධ්‍යානය ද, විතර්‍ක-විචාර දෙකම ඉක්මවීමෙන් තෘතීය ධ්‍යානය ද වී යයි දත යුතු යි.

 

සමාධි භේද නිමියේ ය.

 

5. සමාධියෙහි කිලිටි බව කිමෙක් ද

6. සමාධියෙහි පිරිසිදු බව කිමෙක් ද

 

යන මේ ප්‍ර‍ශ්න ඥානවිභඞ්ගයෙහි විසඳන ලද්දේ ම ය. එහි විසඳූ ආකාරය මෙසේ ය. “සංකිලෙසංති හානභාගියො ධම්මො. චොදානංති විසෙසභාගියො ධම්මො”[173] කිලිටි බව නම් හානභාගිය ධර්‍ම යි. පිරිසිදු බව නම් විසේසභාගිය ධර්‍ම යි.

 

(එහි දු “පඨමස්ස ඣානස්ස ලාභිං කාමසහගතාසඤ්ඤා මනසිකාර සමුදාචරන්ති හානභාගිනි පඤ්ඤා”[174] යයි කී නියායෙන් හානභාගිය ධර්‍ම ද, “අවිතක්කසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනි පඤ්ඤා”[175] යි කී නියායෙන් විසෙසභාගිය ධර්‍ම ද දත යුතුයි.

 

පඨමස්ස ඣානස්සලාභිං = අප්‍ර‍මාණ වූ ප්‍ර‍ථම ධ්‍යාන ලාභීහු; කාමසහගතා = ආලම්බන වශයෙන් කාම සහගත වූ සඤ්ඤා මනසිකාරා = සංඥා - මනස්කාර යන මොහු; සමුදාචරන්ති = චෝදනා කෙරෙද් ද, ධ්‍යානයෙන් නැංගහු පෙළද් ද යන අර්‍ථ යි.) හානභාගිනී පඤ්ඤා = කාමයෙහි පවත්නා සංඥා මනස්කාරයන් ගේ වශයෙන් ප්‍ර‍ථම ධ්‍යාන සංඥා තොමෝ පිරිහෙන්නේ ය.

 

අවිතක්කසසහගතා = අවිතර්‍ක වූ ද්විතීය ධ්‍යාන ආලම්බන වශයෙන් අවිතර්‍ක සහගත වූ; සඤ්ඤා මනසිකාරා = සංඥා මනස්කාරයෝ; සමුදා චරන්ති ප්‍ර‍ගුණ වූ ප්‍ර‍ථම ධ්‍යානයෙන් නංගහු ද්විතීය ධ්‍යානාධිගමය පිණිස චෝදනා කරද් ද, (පෙළද් ද), විසෙසභාගිනී පඤ්ඤා = ද්විතීය ධ්‍යානයෙහි පවත්නා සංඥා මනස්කාර වශයෙන් ප්‍ර‍ථම ධ්‍යාන ප්‍ර‍ඥා තොමෝ විශෙෂ වූ ද්විතීය ධ්‍යානොත්පත්තියට පදස්ථාන බැවින් විශෙෂ භාගිනී නම් වේ.” යන (පරාක්‍ර‍මබාහු සන්නය)

 

7. සමාධි වැඩිය යුතු කෙසේ ද

 

ලෞකික - ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වූ සමාධි අතුරෙන් ලෝකෝත්තර සමාධි වඩන ක්‍ර‍මය ප්‍ර‍ඥා භාවනායෙහි සඞ්ගෘහීත ය. ප්‍ර‍ඥාව වඩන කල්හි එද වැඩෙන බැවිනි එහෙයින් ඒ සඳහා කිසිවක් මෙහි නො දක්වමු.

 

ලෞකික සමාධි වනාහි යට ශීල පරිච්ඡෙදයෙහි දැක්වුණු සේ සිල් පිරිසිදු කොටැ ගෙනැ සුපරිශුද්‍ධ ශීලයෙහි පිහිටා දශපලිබොධ අතුරෙන් එක පලිබොධයක් හෝ ඇත්නම් එ ද දුරුකොට, කමටහන් දෙන කල්‍යාණ මිත්‍ර‍යන් වහන්සේ නමක් කරා එළඹැ, සතලිස් කර්‍මස්ථාන අතුරෙන් ස්වකීය චරිතානුකූල වූ කර්‍මස්ථානයක් ලබාගෙනැ සමාධි භාවනාවට අයෝග්‍ය විහාරස්ථානන හැරැපියා යෝග්‍ය විහාරස්ථානයෙක වසමින්, සුලු පලිබොධ ද දුරුකොටැ, භාවනාවට නියම විධි එකකුදු නොපිරිහෙලමින් භාවනා කළ යුතු. මේ මෙහි සංක්‍ෂෙපය යි.

 

විස්තර මෙසේ දත යුතු යි.

 

“දශ පලිබොධ අතුරෙන් එක පලිබොධයක් හෝ ඇත්නම් එ ද දුරු කොට” කී තන්හි

 

දස පලිබොධ නම් :-

 

“ආවාසො ච කුලං ලාභො - ගණො කම්මංච පඤ්චමං,

අද්ධානං ඤාති ආබාධො - ගන්‍ථා ඉද්දී ති තෙ දස”

 

1. ආවාස 2. කුල 3. ලාභ 4. ගණ 5. නවකර්‍ම 6. අද්ධාන 7. ඥාති 8. ආබාධ 9. ග්‍ර‍න්‍ථ 10. සෘද්දි යන මොහු යි.

 

1. ආවාස යන්නෙන් එක කාමරයෙක් හෝ එක පිරිවෙනක් හෝ සියලු සංඝාරාම හෝ කියවේ. ඒ ආවාස වනාහි සියල්ලන්ට පලිබොධ වන්නේ නොවේ. යමෙක් ඒ ආවාසවල නමකර්‍මාදියෙහි යෙදී වසන්නේ ද, බොහෝ බඩු රැස්කොට තබන්නේ ද, සිහිල් සෙවන ඇත මිහිරි පැන් ඇත මැනව යනාදි යම්කිසි කාරණයෙකින් අපේක්‍ෂාවත් වැ - පිළිබඳ සිත් ඇති වැ වසන්නේ ද, ඔහුටම පලිබොධ වේ. එසේ නැත්තකුට පලිබෝධ නොවේ. ඒ සඳහා දෘෂ්ටාන්ත කථාවෙක් මෙසේ ය.

 

අනුරාධපුරයෙන් නික් මැ කුලදරුවෝ දෙදෙනෙක් ථූපාරාමයෙහි පැවිදි වූහ. ඔවුන් අතුරෙන් එක් නමෙක් උභය ප්‍රාතිමොක්‍ෂ ප්‍ර‍ගුණ කොටැ පස් වස් වීමෙන් පවාරණය කොටැ පාචීනඛණ්ඩරාජි නම් තැනට වාසය පිණිස ගියේ ය. අනෙක් නම ථූපාරාමයෙහි ම විසී ය. පාචීණඛණ්ඩරාජීයට ගිය භික්‍ෂුව එහි ම කලක් වැස ස්ථවිර භාවයට ද පැමිණැ “මේ ස්ථානය විවේකයට සුදුසු ය. මගේ යහලුවන් වහන්සේට ඒ බව දන්වමි” යි සිතා ථූපාරාමයට ගියේ ය. එන්නාවූ ම උන්වහන්සේ දැකැ සමානවස්සික තෙරුන්වහන්සේ පෙර ගමන් ගොස් පා සිව්රු පිළිගනිමින් වත් පිළිවෙත් කළ සේක. ආගන්තුක තෙරුන් වහන්සේ සේනාසනයට ප්‍ර‍විෂ්ට වැ “මේ මෙහි බොහෝ කලක පටන් වසන්නෙකි මගේ මිත්‍ර‍යා -මට දැන් ගිතෙල් හෝ පැණි හෝ වෙන පාන වර්‍ගයක් හෝ එවනවා ඇතැ”යි සිතුවේ ය. රාත්‍රි ඉක්මිණි. කිසිවක් නො ලැබුණේ ය. උදෑසන සිතන්නේ “දැන් උපස්ථායකයන් එවූ හඹු හා කැවුම් එවතී”යි සිතුවේ ය. එවිට ද එවන්නෝ නො වූහ. “මෙහි නො එවුව ද ගමට ගිය කල ලබන්නෙම් වේ දැ”යි උදෑසන ම නේවාසික භික්‍ෂු හා සමඟ ගමට පිවිසියේ ය. මුළු වීථියක හැසිරැ කැඳිත්තක් ලදින් දෙදෙනා වහන්සේම එය ආසන ශාලාවෙක හිඳැ වැළඳුවාහු යැ. “පේරු කැඳ නැතත් දහවල මනුෂ්‍යයන් ප්‍ර‍ණීත භෝජන දෙතී”යි හේ වැළිඳු සිතුවේ ය. දහවල ද පිඬු පිණිස හැසිර ලද දෙයක් ම වළඳා “කිම ස්වාමීනි! ඇමදාම මෙසේ ද යැපෙන්නේ” යයි ඇසුවේ ය. උන්වහන්සේ “එසේ ය”යි කී සේක. ‘ස්වාමීනි! අප වසන ප්‍රාචීනඛන්ඩරාජිය මෙයට වඩා පහසු ය. එහි වඩිනු මැන වැ”යි ආගන්තුක භික්‍ෂු කීයේ ය. තෙරුන් වහන්සේ නුවර දකුණු දොරින් නික් මැ ථූපාරාමයට යන මඟ හැරැ කුඹල්ගම මාර්‍ගයට පිළිපන් සේක. “ස්වාමීනි! කුමක් හෙයින් මේ මඟට පිළිපන් සේක් දැ”යි විචාළ කල “හැයි ආයුෂ්මත්නි! පාචීනඛණ්ඩරාජිය වර්‍ණනා කෙළේ නොවේ ද එහි යමු”යි කී සේක. “ස්වාමීනි මෙතෙක් කල් විසූ තැන කිම වැඩි පිරිකරෙක් හේම නැද්ද”යි ඇසූ කල ආයුෂ්මත්නි! ඇඳ පුටු සාඞ්ඝික ය. එය අපි එද්දී ම තැන්පත් කළෙමු. අන් කිසිවක් එහි නැතැ”යි කීයේ ය. “ස්වාමීනි! මගේ සැරයටිය ද තෙල් ගුලාව ද, වහන්උරය ද එහි ය.” “ආයුෂ්මත්නි! එක දවසක් විසූ තොප එතෙක් බඩු එහි තබන ලද්දේ දැ”යි ඇසූයේ “එසේ ය”යි කීයේ ය. ආගන්තුක භික්‍ෂු පැහැදුණේ ය. හෙතෙමේ තෙරුන් වහන්සේ වැඳ “ස්වාමීනි! නුඹ වහන්සේ වැන්නවුන්ට ඇම තැන අරණ්‍යම ය. ථූපාරාමය සතර බුදුවරුන් වහන්සේගේ ධාතු නිධාන ස්ථානය යි. ලෝවාමහාපායෙහි පහසුවෙන් ධර්‍ම ශ්‍ර‍වණය කළ හැකි ය. ඇම වේලේ රුවන්වැලි මහා චෛත්‍යය ද, ස්ථවිර භික්‍ෂූන් ද, දක්නට ලැබෙයි. එතැන බුදුරජාණන් වහන්සේගේ ධර්මාන කාලය වැනි ය. ස්වාමීනි! නුඹ වහන්සේ මෙහි මැ වසනු මැනව අප යම්හ”යි දෙවන දවසෙහි පා සිව්රු ගෙනැ තෙමේ ම පාචීනඛණ්ඩරාජියට ගියේ ය. මෙබන්දන්ට කෙබඳු ආවාසයෙකුත් පලිබෝධ පිණිස නො වන්නේ යැ.

 

2. කුල නම් ඥාති කුල හෝ උපස්ථාන කුල යි. ඇතැම් කෙනෙකුන්ට උපස්ථායක කුලය පවා පලිබෝධ පිණිස වන්නේ ය. “සුඛිතෙ සුඛිතො” සැපෙහි තුටු වේ. (දුකෙහි දුක් වේ) යනාදි ක්‍ර‍මයෙන් ඔවුන් හා එක් වැ හැනී වසන බැවිනි. එබඳු භික්‍ෂූහු කුල මිනිසුන් නැති වැ අසල විහාරයකට බණ අසන්නට පවා නොයෙති. කොරණක නම් වෙහෙර වැසි මහතෙරුන් වහන්සේගේ බෑණණූ වූ දහර භික්‍ෂුවට මෙන් ඇතැම් කෙනෙකුන්ට මව්-පියෝ ද පලිබොධ පිණිස නො වන්නාහ.

 

හේ වනාහි ත්‍රිපිටක පාළිය පුහුණු කැරැ ගන්නා පිණිස රුහුණු ජනපදයට ගියේ ය. තෙරුන් වහන්සේගේ සහෝදරී ඇම විට ම තෙරුන්වහන්සේගෙන් පුතණුවන් ගේ තොරතුරු විචාරන්නී ය. එක් දවසෙක තෙරුන් වහන්සේ දහරභික්‍ෂු කැඳවා ගෙන එනු පිණිස රුහුණට ගිය හ. දහරභික්‍ෂුහු ද “මම මෙහි විසීමෙන් බොහෝ කල් ගත විය. උපාධ්‍යායයන් වහන්සේ දදැකැ මෑණියන්ගේ ද තොරතුරු දැන එමි”යි රුහුණින් නික්මුණේ ය. දෙදෙනා වහන්සේ ම මහවැලි ගං ඉවුරෙහි දී සම්මුඛ වූහ. දහරභික්‍ෂු එක් රුක් මුලෙක දී තෙරුන්වහන්සේට වත් දක්වා “කොයි යන්නේ දැ”යි විචාළ කල්හි තමන් ගම්න පවත් කීය. තෙරුන්නාන්සේ ද ඒ අසා “තා කෙළේ යහපතෙක. උපාසිකාවෝ ඇම විට තොපගේ සුවදුක් අසති. අපි එන්නමෝත් තොප එහි යවනු සඳහා ආයෙමු. තොපි එහි යව්. අපි මෙහි වසන්නමු”යි ශිෂ්‍ය නම යැවූ සේක. දහරභික්‍ෂුව වස්වසන දිනයෙහිම කොරණක විහාරයට සම්ප්‍රාප්ත විය. ස්වකීය පියාණන් කරවූ සේනාසනය උන්වහන්සේට වස් එළඹෙනු සඳහා ලැබුණේ ය. දෙවන දවසෙහි පියාණෝ විහාරයට අවුත් “අපගේ සෙනස්න කා හට ලැබුණේ දැ”යි භික්‍ෂූන්ගෙන් විචාරා “ආගන්තුක දහර භික්‍ෂූහට ය”යි කී කල්හි උන්වහන්සේ කරා එළඹැ වැඳැ “ස්වාමීනි අපගේ සෙනස්නෙහි වස් එළඹුණුවන් විසින් පිළිපැදිය යුතු වතෙක් ඇතැ”යි කීහ. “කවර වතෙක්දැ”යි විචාරන්නා “මේ තෙමස අපගේ ගෘහයෙන්ම භික්‍ෂාව ගත යුතු ය. පවරා වඩින දවස්හි අපට දන්වා වැඩිය යුතු”යි කීහ. උන්වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.

 

උපාසකයාණෝ ද ගෙට ගොස් “අපගේ ආවාසයෙහි එක් ආගන්තුක නමෙක් වස් විසී ය. සකසා උපස්ථාන කළ යුතු ය”යි කීහ. උපාසිකාවෝ මැනවැ යි පිළිගෙන ප්‍ර‍ණීත වූ ඛාද්‍ය-භොජ්‍ය සම්පාදනය කළහ. දහරභික්‍ෂු පිණ්ඩපාත වේලෙහි එහි එළඹුණේ ය. කිසිවෙක් උන්වහන්සේ නො හැඳින්නේ ය. උන්වහන්සේ තුන්මස මුළුල්ලෙහි එහි පිණ්ඩපාතය ගෙනැ වස් අවසන්හි පවරා “මම යමි”යි කීහ. ඔව්හු ද අද ඉවසා හෙට වඩින්නැ”යි ආරාධනා කොටැ දෙවන දවසෙහි සිය ගෙදොර දී ම දානය වළඳවා තෙල් නළ ද පුරවා සකුරු පිඩක් හා නවරියන් වස්ත්‍ර‍යක් පුදා “වඩින්න ස්වාමීනි”යි කිවුය. උන්වහන්සේ අනුමෙවෙනි බණ වදාරා රුහුණ බලා වැඩි සේක.

 

උපධ්‍යායයන් වහන්සේ ද වස්වසා පවාරණය කොටැ පෙරලා වඩින සේක් පෙර දුටු මහවැලි ගං ඉවුරෙහි දීම දහරනම දුටු සේක. හේ රුක්මුලෙක දී තෙරුන්වහන්සේට වත් දක්වා “කිම භද්‍ර‍මුඛය මෑණියන් දුටු දැ”යි විචාරන්නා “එසේය දුටුම් හ ස්වාමීනි”යි සියලු පවත් දන්වා ඒ තෙලින් ම උන්වහන්සේ ගේ පා මැඩැ සකුරින් පානයක් සාදා වළඳවා ඒ සළුවත් උන්වහන්සේට ම පුදා වැඳෑ “ස්වාමීනි මට රුහුණ සැපය”යි කියා ගියේ ය.

 

තෙරුන් වහන්සේද විහාරයට ගොස් දෙවන දින කොරණක ගමට වැඩි සේක. උපාසිකා තොමෝ ‘මගේ සහෝදරයන් වහන්සේ මගේ පුතණුවන් ගෙනැ දැන් දැන් එති”යි ඇම දා මඟ බලමින් ඉන්නී ය. එදා ද හුදෙකලා වැ වඩින තෙරුන් වහන්සේ දැකැ “මගේ පුතනුවන් වහන්සේ මිය ගිය සේකැ යි සිතමි. තෙරුන්වහන්සේ තනි වැ මැ වඩිති”යි උන්වහන්සේ පාමුල වැටි පෙරලී වලපමින් හැඩුවා ය. තෙරුන් වහ්නසේ සිතන සේක් “එකාන්තයෙන් දහරනම ස්වකීය අලෙපච්ඡත්‍වය හේතු කොටැ තමා නො හඳුන්වා ම ගියේ වනැ”යි ඇය සනසා සියලු පුවත් දන්වා පාත්‍ර‍ථවිකයෙන් ඒ සළුව ද මෑත් කොටැ පෙන්වූහ. උපාසිකාවෝ පැහැදැ පුතු ගිය දිසාවට ළයෙන් හෙවැ වැඳ ගෙනැ කියන්නී “බුදුරජාණන් වහන්සේ රථවිනීත - නාලක - තුවටක ප්‍ර‍තිපදා ද, සිව්පස සන්තෝෂ හා භාවනාරාමතා දක්වනව මහා ආර්‍ය්‍යවංශප්‍ර‍තිපදා ද, වදාරණ සේක් මාගේ පුතනුවන් වහන්සේ වැනි භික්‍ෂූන් ම කායශාක්‍ෂි කොටැ වදාළ සේක් විය යුතු ය වැදූ මෑණියන් ගේ ගෙයි තුන්මසක් වළඳමිනුත් ‘මම නුඹගේ පුතණුවෝ ය. මුඹ මාගේ මෑණියෝ’ය යි නො කී සේක. අහෝ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයා”යි කීහ. මෙබන්දන්ට මව්පියෝ ද පළිබෝධ නො වෙති. අන්‍ය උපස්ථායක කල කියන ම කවරේ ද?

 

3. ලාභ නම් සිව්පස යි. සිව්පස කෙසේ පලිබෝධ වෙද් ද පින් ඇති භික්‍ෂූන්ට ගිය ගිය තැන මනුෂ්‍යයෝ මහා පිරිකරත් සමඟ ප්‍ර‍ත්‍යය පිළිගන්වති. ඔවුහු දායකයන්ට අනුමෙවෙනි කරමින් බණ වදාරමින් ශ්‍ර‍මණ ධර්‍මය පුරා ගන්නට අවකාශ නො ලබති. අරුණොද්ගමනෙහි පටන් පෙරයම දක්වා මිනිසුන් හා එක් වැ හැනීම නො නවතී.  දෙවන දින ද ඉතා උදෑසන ප්‍ර‍ත්‍යය ලෝල පිණ්ඩපාතික භික්‍ෂූහු අවුත් “ස්වාමීනි අසවල් උපාසකයාණෝ අසවල් උපාසිකාවෝ අසවල් මැතිතුමාණෝ අසවල් අසවල් මන්ත්‍රිදියණියෝ ඔබවහන්සේ දැකැ ගන්නට කැමැත්තෙන් සිටිති”යි කියති. ඔව්හුද ‘ගනිව් ඇවැත්නි! පා සිවුරු”යි කියමින් ගමනට ම සැරසී ගනිති. එහි ම ව්‍යාපෘත වෙත්. මෙසේ ඇති කල්හි ඔවුනට ඒ ප්‍ර‍ත්‍යයෝ පලිබෝධ වන්නාහ. එ බැවින් ගණයා හැරපියා කිසිවකු නො හඳුනන තැනකට වී හුදෙකලා වැ විසිය යුතු යි. එසේ වූ කල්හි ඒ ලාභ පලිබෝධ සිඳී යන්නේ ය.

 

4. ගණ නම් සූත්‍රාන්ත හෝ අභිධර්‍ම හදාරණ ගණයා ය. ඔවුන්ට උද්දේස හෝ පරිපුච්ඡා දීමෙන් යම් කෙණෙක් මහණ දම් පිරීමට අවකාශ නො ලබද්ද එබන්දන්ට ගණයා පලිබෝධ වන්නේ ය.

 

ඒ ගණ පලිබෝධය සිඳගන්නා ක්‍ර‍මය මෙසේ ය. භික්‍ෂූහු උද්දේසයෙන් හෝ පරිපුච්ඡායෙන් වැඩි කොටසක් උගත්හු නම් උගන්නට තිබෙන සෙසු කොටස ස්වල්ප නම් එ ද නිම කර දී අරණ්‍ය ගත විය යුතු යි. ඉදින් උගත් කොටස ස්වල්ප නම් වැඩි කොටසක් උගන්නට ඇත්නම් යොදුනක් අතුර වසන අන්‍ය ගණවාචක භික්‍ෂුවක් කරා එළඹැ ‘ආයුෂ්මතුන් වහන්සේ මේ නමලාට උද්දේසාදියෙන් සංග්‍ර‍හ කරන සේක්වා”යි කිය යුතු යි. එසේත් නො ලබත් නම් “ඇවැත්නි! මට කටයුත්තෙක් ඇත. තොපි පහසු තැන් බලා යව්”යයි කියා ගණයා හැරැ දමා ස්වකීය මහණුවම කැරැගත යුතුයි. (උද්දේස නම් පෙළ කියවා දීම ය. පරිපුච්ඡා නම් අර්‍ථ ගැන්වීම යි.)

 

5. කර්‍ම නම් කර්‍මාන්තය. නවකර්‍මාන්ත කරවන්නවුන් විසින් වඩු ආදි කම්කරුවන් විසින් ලද නො ලද දෙය දැනැ සිටිය යුතු ය. කළ නො කළ කර්‍මාන්ත පිළිබඳ උත්සාහවත් විය යුතුය. එබැවින් එය සර්‍වප්‍ර‍කාරයෙන් ම පලිබෝධ පිණිස වන්නේ ය.

 

නවකර්‍ම පලිබෝධය සිඳැලිය යුතු ක්‍ර‍මය මෙසේ ය:- පටන් ගත් කර්‍මාන්තයෙන් ශේෂ වැ පවත්නේ ස්වල්පය නම් එය නිම කළ යුතු වැඩි කොටසෙක් ශේෂ වැ ඇත්නම් කර්‍මාන්තය සංඝ සන්තක නම් සංඝයාට හෝ සංඝයාගේ භාරහාරක භික්‍ෂූන්ට හෝ පාවාදිය යුතු යි. කර්‍මාන්තය තමා සතු නම් තමන්ගේ භාරහාරක භික්‍ෂූන්ට පාවාදිය යුතු යි. භාරගන්නා කෙනෙක් නැත් නම් සංඝයාට පත්කොටැ යා යුතු යි.

 

6. අද්ධාන නම් මාර්‍ග ගමනය. හෙවත් යම් තැනෙක යාමෙහි අපේක්‍ෂාව යි. අරණ්‍යයට වැදැ ශ්‍ර‍මණ ධර්‍ග පුරන්නවුන්ට පවා උපන් ගමික සිත සංසිඳුවා ගැන්ම දුෂ්කර ය. එ බැවින් යම් තැනෙක ප්‍ර‍ව්‍ර‍ජ්‍යාපේක්‍ෂකයෙක් හෝ ඇත්නම් ලබාගත යුතු ප්‍ර‍ත්‍යයයෙක් ඇත් නම් එය නො ලත් කල ඉවසා ධරා ගත නො හැකි නම් එහි ගොස් ඒ කෘත්‍යය නිම කොටැ ගෙනැ අවුත් ශ්‍ර‍මණ ධර්‍මයෙහි උත්සුක විය යුතු යි.

 

7. ඥාති නම් විහාරයෙහි ආචාර්‍ය්‍ය - උපාධ්‍යාය - සද්ධි විහාරික අන්තෙවාසික - සමානොපාධ්‍යායක - සමානාචාර්‍ය්‍යකයෝ ය. ගෘහයෙහි මව්-පිය-සහෝදරාදීහු යි. ඔවුහු ගිලන් වූහු නම් පළිබෝධ පිණිස වෙත්. ඒ පළිබෝධය සංසිඳුවා ගත යුත්තේ ඔවුන්ට උපස්ථාන කොටැ ඔවුන් නිරෝගීන් කිරීමෙනි.

 

එහි පිළිවෙළ මෙසේ ය :- ඉදින් උපාධ්‍යායයන් වහන්සේ ගිලන් වූ සේක් නම් වහා සුව නො වත් හොත් දිවි හිම් කොටැ උපස්ථාන කළ යුතුය. එසේ ම ප්‍ර‍ව්‍ර‍්‍යාචාර්‍ය්‍ය - උපසම්පදාචාර්‍ය්‍ය සද්ධිවිහාරිකයෝ ද, තමන් විසින් කර්‍ම වාක්‍ය කියා උපසම්පදා කරගන්නා ලද තමා විසින් පැවිදි කරවන ලද අනේතවාසිකයෝ ද, දිවි හිම් කොටැ උපස්ථාන කළ යුතු වෙත්. නිස්සයාචරියයෝ ද, උද්දේසාචරියයෝ ද, නිස්සයන්තේවාසිකයෝ ද, උද්දේසනේතවාසිකයෝ ද, සමානාචරියකයෝ ද, නිස්සය හා උද්දේස ගන්නා තාක් උපස්ථාන කළ යුත්තෝ ය. හැකි නම් ඉන් ඔබ්බෙහි ද උපස්ථාන කිරීම සුදුසු ම ය.

 

මව්පියන්ට ද උපාධ්‍යායයන් වහන්සේට මෙන් පිළිපැදිය යුතු ය. ඉදින් මව්පියවරු රාජ්‍යයෙහි පිහිටියෝ නමුදු තමන්ගෙන් උපස්ථාන ලැබියටි වෙත් නම් එසේ උපස්ථාන කළ යුතු යි. ඔවුන් සතු බෙහෙත් නැත්නම් තමා සතු බෙහෙත් දිය යුතු යි. තමා සතු වූ ද බෙහෙත් නැත්නම් පිඬු සිඟාවත් සොයා දිය යුතු ම ය. සහෝදර සහෝදරියන්ට වනාහි ඔවුන් සතු බෙහෙත් ම යොදා දිය යුතු යි.ි ඉදින් ඔවුන් සතු බෙහෙත් නැත්නම් තමන් සතු බෙහෙත් නැත්නම් තමන් සතු බෙහෙත් තාවකාලික වශයෙන් දී පසු වැ ලද හොත් ගත යුතු යි. නො ලද හොත් නො ඉල්විය යුතු යි. සහෝදරියකගේ ස්වාමි පුරුෂයා ඉදින් ස්වකීය ඥාතියෙක් නොවේ නම් බෙහෙත් කරන්නට ද දෙන්නට ද නො වටනේය. “තොපගේ ස්වාමි පුරුෂයාට දෙව”යි කියා සහෝදරියට දීම වරද නො වේ. සහෝදරයාගේ බිරින්ද කෙරෙහි ද පැවතිය යුතු ක්‍ර‍මය මෙසේම ය. ඔවුන්ගේ දරුවන් තම නෑයන් බැවින් ඔවුන්ට බෙහෙත් කරන්නට වටනේ ය.

 

8. ආබාධ නම් මුල් වූ හෝ අනුබද්ධ වූ යම් කිසි රෝගයකි. එය තමන් පෙළන්නේ පළිබෝධ පිණිස වන්නේ ය. ආබාධ පළිබෝධය සිඳැලිය යුතු ක්‍ර‍මය නම් එය සුවකැරැ ගැන්ම යි. ඉදින් කීප දවසක් බෙහෙත් කරන කල්හිදු ආබාධය සුව නො වේ නම් “මම තගේ දාසයෙක් හෝ බැළයෙක් හෝ නො වෙමි. අනාදිමත් සසර තා ම පෝෂ්‍ය කිරීමෙන් මම දුක් වින්දෙමි” යි ආත්මභාවයට ගරහා ලා මහණුවම් පිරිය යුතු යි.

 

9. ග්‍ර‍න්‍ථ නම් පර්‍ය්‍යාපති පරිහරණය යි. ඒ වනාහි සජ්ඣායන-ධාරණ-පරිචය-පරිපුච්ඡාදි වශයෙන් නිත්‍ය ව්‍යාපෘතයාට ම පළිබෝධ පිණිස වන්නේ ය. එසේ නො වන්නහුට පළිබෝධ පිණිස නො වන්නේ ය.

 

එයට දෘෂ්ටාන්ත කථා මෙසේ ය.

 

මැදුම් සඟිය වනපොත් කළ දේව නම් තෙරුන්නාන්සේ ගල්වල වසන දේව ස්ථවිරයන් වහන්සේ කරා එළඹැ කමටහන් ඉල්ලූහ. උන්වහන්සේ “ඇවැත්නි! තොපගේ පර්‍ය්‍යාප්ති ඥානය කෙතරම් දැ”යි විචාළ සේක. ‘ස්වාමීනි! මට මැදුම් සඟිය ප්‍ර‍ගුණය”යි හේ පිළිතුරු දිනි. “ඇවැත්නි! මේ මැදුම් සඟි පරිහරණය දුෂ්කරය. මූලපණ්ණාසකය සජ්ඣායනය කරත් මජ්ඣිම පණ්ණාසකය ද, එය සජ්ඣායනය කරත් උපරිපණ්ණාසකය ද නැඟී එන්නේ ය. තොපට කවර කර්‍මස්ථානදැ”යි උන්වහන්සේ කී සේක. “ස්වාමීනි නහමක් එසේ සිතන්න. ඔබවහන්සේගෙන් කර්‍මස්ථාන ලබාගෙන මැදුම් සඟිය දිසාවත් නොබලමි”යි කමටහන් ගෙනැ එකුන්විසි වසක් සජ්ඣායන නො කොටැ විසිවන වසෙහි රහත් වැ සජ්ඣායනය පිණිස පැමිණි භික්‍ෂූන්ට කියන සේක්. “ඇවැත්නි! පර්‍ය්‍යාප්තිය නො බැලීමෙන් මට විසිවසෙක් ඉක්මුණේය. එහෙත් මට එහි පුරුදුකම් ඇත. ආරම්භ කරව”යි කියා මුල පටන් අග තෙක් එක ව්‍යඤ්ජනයෙක ද සැකයක් නො කළ සේක.

 

තවද කැරළිගිරි වෙහෙර විසූ නාග ස්ථවිරයන්වහන්සේ අටලොස් වසක් පර්‍ය්‍යාප්ති හැරැපියා භික්‍ෂූන්ට ධාතු කථා දෙසූහ. අනුරාධපුර වැසි තෙරවරුන් හා සමග සංසන්‍දනය කරන ඔවුනට එක ප්‍ර‍ශ්නයෙකුදු උත්තරිපාටික නො වූයේ ය.

 

තවද මහවෙහෙර වැසි ත්‍රිපිටක චූලාභය තෙරුන් වහන්සේ අටුවා නො ඉගෙනැ ම “පස්මහසඟි උගත් පිරිසට ත්‍රිපිටකය වර්‍ණනා කරමි”යි දවසෙක රන්බෙරය ගැස්වූ සේක. භික්‍ෂූහු “ඔහු විසින් කවර ආචාර්‍ය්‍ය මතයෙක් වණනු ලබන්නේ ද, ස්වකීය ආචාර්‍ය්‍ය මතය විනා අනෙකක් කියන්නට නො දෙම්හ”යි කිවුය. උපාධ්‍යායයන් වහන්සේ ද ස්වකීය උපස්ථානය සඳහා පැමිණි ඔහු විචාරණ සේක් “ඇවැත්නි! රන් බෙරය ගැස්වූවෝ තොපි දැ”යි ඇසූ සේක. “එසේය ස්වාමීනි” යි කී කල්හි “කුමක් සඳහා දැ”යි අසා “ස්වාමීනි! පර්‍ය්‍යාප්තිය වර්‍ණනා කරනු සඳහා ය”යි කී කල්හි “ඇවැත් අභය මේ ස්ථානය පිළිබඳ ආචාර්‍ය්‍යයෝ කෙසේ කියත් දැ”යි එක් ධර්‍ම පදයක් දැක්වූ සේක. හෙතෙමේ “ස්වාමීනි! මෙසේ කියති”යි කීය. තෙරුන්වහන්සේ “හුම් යන ශබ්දනෙය් එය වරද ලීලාව හැඟවූහ. ඉක්බිති හෙතෙමේ ‘ස්වාමීනි! මෙසේත් කියති මෙසේත් කියති”යි අනෙක් අනෙක් සැටියෙන් තුන්වරක් කීය. තෙරුන්වහන්සේ ඒ සියල්ල “හුම්” කාරයෙන් ප්‍ර‍තික්‍ෂේප කොටැ “ඇවැත! තොප විසින් පළමු වැ කියන ලද්දේ ආචාර්‍ය්‍ය මාර්‍ගය යි එය ආචාර්‍ය්‍ය මුඛයෙන් නො උගන්නා ලද බැවින් එහි ස්ථිර වැ සිට ගන්නට නො හැකි විය. යව, සුදුසු ආචාර්‍ය්‍ය වරයෙකු සමීපයෙන් අසා උගනුව”යි කී සේක. “ස්වාමීනි! මම කොයි යම් දැ”යි හේ විචාළේ ය. “ගඟින් ඔබ රුහුණු රට තලාධාර පර්‍වත විහාරයෙහි සර්‍වපර්‍ය්‍යාප්තිධර ධර්‍මරක්‍ෂිත නම් ස්ථවිර කෙනෙක් වෙසෙති. ඔවුන් කරා යව”යි කීහ. උන්වහන්සේ ද “මැනව ස්වාමීනි” යි කියා තෙරුන්වහන්සේ වැඳැ පන්සියක් භික්‍ෂුන් සමඟ ධර්‍මරක්‍ෂිත ස්ථවිරයන් කරා එළඹැ වැඳැ එකත්පස් වැ උන්හ. තෙරුන් වහන්සේ විසින් “කුමක් පිණිස ආයේ දැ”යි පුළුවූත්නා ලද්දේ බණ අසනු පිණිස ය”යි කීවේ ය. “ඇවැත් අභය දීර්‍ඝනිකායයෙහි හා මධ්‍යම නිකායෙහි කලින් කල මා විචාරති. සෙසු ධර්‍ම නො බැලූ මට තිස් වසෙක් ගත විය. එසේ වුව ද තෙපි රාත්‍රි කාලයෙහි මා වෙත පිරිවභව. මම තට දහවල් කියමි”යි කී කල්හි “එසේය ස්වාමීනි”යි කියා කී සේ ම කෙළේ ය. පිරිවෙන ඉදිරිපස මහා මඩුවක් කරවා ගම් වැස්සෝ දිනපතා බණ අසනු පිණිස එහි රැස් වෙති. තෙරුන් වහන්සේ රෑ පිරිවැහූ තැන් දහවල් කියමින් පිළිවෙළින් ම දේශනාව නිම කොටැ අභය තෙරුන් ළඟ පත්කඩ අතුට වැඩහිඳ “ආයුෂ්මතුන් වහන්ස! මට කර්‍මස්ථානයක් වදාළ මැනවැ”යි කීහ. “ස්වාමීනි මේ කුමක් කියන සේක් ද මාත් ඔබ සමීපයෙන් ම අසා ගන්නා ලද්දේ නො වේද ඔබ නො දන්නා කුමක් මම කියම්ද”යි කීය. එවිට තෙරුන්නාන්සේ “ඇවැත්නි! මේ අධිගතයන්ගේ මාර්‍ග අනෙකකැ”යි කීහ. එකල අභය ස්ථවිර සෝවාන් වැ සිටියේ ය. හෙතෙමේ උන්වහන්සේට කමටහන් දී අවුත් ලෝවාමහාපායෙහි, ධර්‍ම දේශනා කරන්නේ තෙරුන් වහන්සේ පිරිනිවි සේකැ”යි අසා “ඇවැත්නි මගේ සිව්ර ගෙනෙව”යි කියා සිවුර ගෙන්වා පෙරවා ගෙනැ “ඇවැත්නි! අප ආචාර්‍ය්‍යයන් වහන්සේ‍ගේ අර්‍හත් මාර්‍ගය ඉතා සුදුසුය”යි කීයේ ය. මෙබන්දන්ට ග්‍ර‍න්‍ථ පළිබොධ පිණිස නො වන්නේ ය.

 

10. සෘද්ධි නම් පෘථග්ජන සෘද්ධි යි. ඒ වනාහි උඩු බැලි හෝනා ළදරුවකු මෙන් ද, පැල ගොයමක් මෙන් ද, බොහෝ උපද්‍ර‍ව ඇති බැවින් ආයාසයෙන් පරිහරණය කළ යුතු ය. ස්වල්ප ප්‍ර‍මාදයකින් බිඳී යන්නේ ය. එහෙයින් එය විදර්‍ශනා ලැබීමට පළිබොධ පිණිස වේ. සමාධියට නම් පළිබෝධ පිණිස නො වේ. කුමක් හෙයින් ද සමාධි ලබා ඉක්බිති සෘද්ධි ලැබිය යුතු බැවිනි. එ හෙයින් විදර්‍ශනා භාවනා කටැටියන් විසින් සෘද්ධි පළිබෝධය සිඳැලිය යුතු ය. සමාධි භාවනා කටැටියන් විසින් සෙසු පළිබෝධ නවය ද සිඳලිය යුතු ය.

 

පළිබෝධ කථා වර්ණනා නිමියේ ය.

 

කර්‍මස්ථානදායක

 

කමටහන් දෙන කල්‍යාණ මිත්‍ර‍යන් වහන්සේ නමක් කරා එළඹැ”යි කියූ තන්හි කර්‍මස්ථාන වනාහි සබ්බත්‍ථක කම්මට්ඨානය, පාරිහාරිය කම්මට්ඨානය යි දෙ වැදෑරුම් වේ. (සබ්බත්‍ථක කම්මට්ඨාන නම් ඇම තන්හිදීම වැඩිය යුතු කමටහන්ය. පාරිහාරිය කම්මට්ඨාන නම් නියම වශයෙන් පරිහරණය කළ යුතු කමටහන් ය.) එයින් භික්‍ෂු සංඝාදීන් කෙරෙහි පතුරන මෛත්‍රිය හා මරණ සතිය සබ්බත්‍ථකය. අසුභ සංඥාව ද සබ්බත්‍ථක යයි ඇතැම්හු කියත්. ඒ වඩන ක්‍ර‍මය මෙසේ ය.

 

කර්‍මස්ථාන ගන්නා යෝගාවචරයා විසින් පළමු කොටැ පරිච්ඡේද වශයෙන් සීමායෙහි වැසි භික්‍ෂු සංඝයා කෙරෙහි “සුවපත් වෙත්වා නිදුක් වෙත්වා”යි මෛත්‍රී වැඩිය යුතුය. ඉක්බිති සීමා වැසි දෙවියන් කෙරෙහි ද, ඉක්බිති ගොදුරු ගම් වැසි ප්‍ර‍භූන් කෙරෙහි ද, ඉක්බිති එහි සාමාන්‍ය මහාජනයා කෙරෙහිද, ඉක්බිති සකල සත්‍වයන් කෙරෙහි ද මෛත්‍රී වැඩිය යුතු. සීමා වැසි සංඝයා කෙරෙහි මෛත්‍රී වැඩීමෙන් සහවාසී භික්‍ෂූන්ගේ සිත්හි මෘදුත්‍වය ඇතිවන හෙයින් ඔහුට එහි සුවසේ විසිය හැකි වන්නේ ය. සීමාවැසි දෙවියන් කෙරෙහි මෛත්‍රී වැඩීමෙන් ඔවුන්ගේ සිත් මෘදු වැ ඔවුන් විසින් තමා ධාර්‍මමික ආරක්‍ෂායෙන් ආරක්‍ෂා කරනු ලබන්නේ ය. ගොදුරු ගම් වැසි ප්‍ර‍භූන් කෙරෙහි මෛත්‍රී වැඩීමෙන් ඔවුන්ගේ සිත් මෘදු වැ ඔවුන් විසින් ධාර්‍මමිකාරක්‍ෂායෙන් ස්වකීය පරිෂකාර ආරක්‍ෂා කරනු ලබන්නේ ය. ගොදුරු ගම් වැසි මහජනයා කෙරෙහි මෛත්‍රී වැඩීමෙන් ඔවුන්ගේ සිත් පැහැදැ ඔවුන් විසින් හෙළා නොදකිනු ලැබ සුවසේ විසිය හැකි වන්නේ ය. සකල සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රී වැඩීමෙන් කිසි තැනෙක ගැටුම නො ලැබැ සතුටින් විසිය හැකි වන්නේ ය.

 

මරණ සති වැඩීමෙන් මැරෙන බව ඒකාන්තයෙන් සිදු වන්නක් බව සැලකෙන බැවින් අයෝග්‍ය ප්‍ර‍ත්‍යය සෙවීම් හැරැපියා මතු මතු ද සංවේග වඩන්නේ සුදුසු ප්‍ර‍තිපත්තියෙහි පසු නො බස්නා පැවතුම් ඇත්තෙක් වන්නේ ය.

 

අසුභ සංඥා පුරුදු කළහුගේ සිත දිව්‍ය අරමුණු පවා ලෝභ වශයෙන් ඇදැගන්නට සමර්‍ථ නො වන්නේ ය.

 

මෙසේ මේ කර්‍මස්ථානත්‍ර‍ය “යෝගාවචරයනට බොහෝ උපකාර වන බැවින් සියලු කර්‍මස්ථාන විෂයෙහි කැමැති විය යුතු බැවින් ද, අභිමත භාවනායෙහි යෙදීමට කාරණ වන බැවින් ද, සබ්බත්‍ථක කම්මට්ඨාන යයි කියනු ලැබේ. (සබ්බත්‍ථ අත්‍ථයිතබ්බා ඉච්ඡිතබ්බංති ච අධිප්පෙතස්ස යොගානුයොග කම්මස්සඨානංචාති සබ්බත්‍ථක කම්මට්ඨානං)

 

සමසතලිස් කමටහන් අතුරෙන් යම් කමටහනෙක් යමකුගේ චරිතයට අනුකූල වන්නේ නම් එම ඔහු විසින් නිතර පරිහරණය කළ යුතු බැවින් ද, එම මතු මතු භාවනා කර්‍මයට පිහිටි වන බැවින් ද, පාරිහාරිය කම්මට්ඨානයයි කියනු ලැබේ.

 

මෙසේ මේ විවිධ වූ ම කර්‍මස්ථාන දෙන තැනැත්තේ “කර්‍මස්ථාන දායකයා” යි කියනු ලැබේ.

 

කල්‍යාණ මිත්‍ර‍යා.

 

කල්‍යාණ මිත්‍ර‍යා නම්:

 

“පියො ච ගරුභාවනීයො-වත්තා ච වචනක්ඛමො

ගම්භිරං ච කථං කත්තා - නොව ‘ට්ඨානෙනියොජයෙ”[176]

 

යනාදීන් දැක්වුණු ගුණවලින් යුත් ඒකාන්ත හිතෛෂි වූ අත වැස්සන්ගේ අභිවෘද්‍ධි සාධන උත්තමයා ය.

 

යමෙක් ස්වකීය ශීලසම්පත්තියෙන් ආශ්‍රිතයන්ට ප්‍රිය වන්නේ ද, පාෂාණච්ඡත්‍ර‍යක් මෙන් ගරු වන්නේ ද, ගුණ වශයෙන් සම්භාවනා කටයුතු වන්නේ ද, ආශ්‍රිතයන්ට අවවාද කියන්නේ ද, චෝද්‍ය වශයෙන් විචාළ ප්‍ර‍ශ්න ඉවසන සුලු වන්නේ ද, සත්‍ය - ප්‍ර‍තිත්‍යසමුත්පාදාදි ගැඹුරු ධර්‍ම කියා දෙන්නේ ද, ස්වකීය ආශ්‍රිතයන් අස්ථානයෙහි නො යොදන්නේ සුදුසු තන්හි මැ යොදන්නේ ද, හේ කල්‍යාණමිත්‍ර‍ නම් වේ යනු ගාථායෙහි භාවය යි.

 

“මමං හි ආනන්‍ද කල්‍යාණමිත්තං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති”[177] ආනන්‍දය! කල්‍යාණ මිත්‍ර‍ මා කරා එළඹැ ජාතිස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙන්නාහ.” යනාදීන් වදාළ බැවින් සම්‍යක් සම්බුද්ධයන්වහන්සේ සර්වාකාර සම්පූර්‍ණ කල්‍යාණමිත්‍ර‍ වන සේක. එ බැවින් උන්වහන්සේ ධ්‍රියමාන කල්හි උන්වහන්සේ වෙතින් ගත් කර්‍මස්ථානය ම සුගෘහිත වන්නේ ය. උන්වහන්සේ පිරිනිවි කල්හි අසූමහ සව්වන් අතුරෙන් යම් කෙනෙකුන් වහන්සේ ගෙන් ගන්නට වටනේ ය. ඔවුන් වහන්සේ පිරිනිවි කල්හි තමා යම් කමටහනක් ගනු කැමැති නම් ඒ කමටහන මැ ගෙනැ චතුෂ්ක-පඤ්චක ධ්‍යාන උපදවා ඒ ධ්‍යාන පදස්ථාන කොටැ විදර්‍ශනා වඩා රහත් වූ ක්‍ෂීණාශ්‍ර‍වයන් වහන්සේ වෙතින් ගත යුතු.

 

කිම? රහත් හු තමන් රහත් බව කියා පාත් ද? හැයි! භාවනා කරන්නකු බව දැනැ ගත් කල්හි කියා පාති. අස්සගුත්ත තෙරුන්නාන්සේ “මේ භික්‍ෂු කමටහන් වඩන්නෙකි. මේ කාරකයෙකැ”යි දැනැ අහස සම්කඩ අතුට ඊමත්තේ පළඟින් හිඳැ කර්‍මස්ථාන වදාළසේක් නො වේද එබැවින් ක්‍ෂීණාශ්‍ර‍වයෙකු ලද නම් ඒ යහපති. ඉදින් නො ලද නම් අනාගාමීන් වෙතින් ද ඔවුන් නො ලද නම් සකෘදාගාමි, සෝවාන්, ධ්‍යාන ලාභී, පෘථග්ජන, ත්‍රිපිටක ධර, ද්විපිටක ධර, එකපිටක ධරයන් වෙතින් ද, පිළිවෙළින් ගත යුතුය. ඒකපිටකධරයකුදු නැති කල්හි අටුවා සමග එක සහියක් ධරන ලජ්ජික විසින් ගත යුතු යි. එ බඳු ලජ්ජි වූ තන්තිධර වූ බුද්‍ධවංශාරක්‍ෂක වූ ආචාර්‍ය්‍ය ප්‍රවෙණිය පාලක වූ ආචාර්‍ය්‍ය තෙමේ ආචාර්‍ය්‍ය මතයෙහි පිහිටි හෙයින් ආචරිය මතික වන්නේ ය. ස්වමත සංඛ්‍යාත අත්තනොමතයෙහි නො පිහිටි හෙයින් අත්තනෝමතික නො වන්නේ ය. එ හෙයින් මැ පුරාතන තෙරවරු “ලජ්ජිරක්ඛිස්සති ලජ්ජිරක්ඛස්සති” “ලජ්ජියාම ශාසනය රැක ගන්නේ ය, ලජ්ජියාම ශාසනය රැක ගන්නේ ය”යි හඩ නැඟූහ.

 

තව ද කිය යුත්තෙක් ඇති. යට දැක්වුණු රහතන් වහන්සේ ආදි ඇත්තෝ තමන් අධිගත මාර්‍ගය ම කියා දෙති. බහුශ්‍රැත භික්‍ෂු එසේ නොවේ. හේ වනාහි ඒ ඒ ආචාර්‍ය්‍යවරයන් කරා එළඹැ කර්‍මස්ථානයන්ට යෝග්‍ය වූ පෙළ අටුවා ශුද්ධි කැරැ ගත් බැවින් සඟවලින් ඔබින් මොබින් සූත්‍ර‍ ද කරුණු ද ගෙන හැරැ දක්වා සප්පාය අසප්පාය කියා දී ඝන වන ලැහැබෙහි ගමන් ගත් ඇතකු මෙන් මහ මඟ දක්වමින් කමටහන් කියන්නේ ය. එ බැවින් එ බඳු කර්‍මස්ථාන දායක කල්‍යාණ මිත්‍ර‍යා කරා එළඹැ උන්වහන්සේට වත පිළිවෙත කොටැ කමටහන් ගත යුතු යි.

 

එබඳු උත්තමයෙක් තමා වසන විහාරයෙහි මැ ඇත් නම් ඒ යහපති. “එබඳු තැනකට යමි” යි කියා පා සෝදා තෙල් ගල්වා වහන් පයලා කුඩ අල්වා තෙල් නළ මීපැණි ගෙන්වා ගෙනැ අතවැස්සන් පිරිවරා නො යා යුතු. ගමික වත් පුරා ස්වකීය පා-සිවුරු තමා ම ගෙනැ අතරමඟ පැමිණි සියලු විහාර ස්ථානයන්හි වත පිළිවෙත කරමින් සැහැල්ලු පිරිකර ධරා පරමසල්ලෙඛ වෘතයෙන් යා යුතු. විහාරයට ඇතුල් වන්නාහු විසින් අතර දී ම දැවටු කප්පියම් කරවා ගෙනැ යා යුතු. “මොහොතක් විඩා හැරැ පා සෝදා තෙල් ගල්වා ගෙනැ පසු වැ ආචාර්‍ය්‍යයන් වහන්සේ සමීපයට යමි” පළමු වැ අන්‍ය පිරිවෙනකට ඇතුළු නො විය යුතු. කුමක් හෙයින් ද එහි ඒ ආචාර්‍ය්‍යයන් වහන්සේට විසභාග භික්‍ෂූහු වෙසෙත් නම් ඔව්හු තමන් ආ කාරණය අසා උන්වහන්සෙගේ අගුණ කියා පා “තෙපි එතනට අවුනම් නටුවහු ය”යි ආපසු යන පරිදි විපිළිසර උපදවිය හැකි බැවිනි. එහෙයින් ඒ ආචාර්‍ය්‍යයන් වැඩ වසනා තැන් විචාරා ඉඳුරා එහිම යා යුතු. ආචාර්‍ය්‍යයන් බාල වුවද පා සිවුරු ගැනීම් ආදිය නො ඉවසිය යුතු. වැඩිමහලු නම් ගොස් උන්වහන්සේ වැඳැ සිටිය යුතු. පාසිවුරු තබන්න ඇවැත්නි! කී කල තැබිය යුතු. පැන් වළඳන්න”යි කී කල අභිමත නම් වැළඳිය යුතු. “පා සෝදා ගන්නැ”යි කී පමණින් නො සේදිය යුතු. ආචාර්‍ය්‍යයන් වහන්සේ පෙරහා තුබූ දිය නම් එයට නො සුදුසු බැවිනි. “ඇවැත්නි! පා සෝදනු ජලය මා ගෙනාපූයේ නො වේ. අන්‍යයන් විසින් ගෙනෙන ලද්ද”යි කී කල ආචාර්‍ය්‍යයන්ට නො පෙනෙන මානයේ ප්‍ර‍තිච්ඡන්න ස්ථානයෙක හෝ අභ්‍යවකාශ විහාරයාගේ එකත් පසෙක හෝ හිඳැ පා සේදිය යුතු. තෙල් නළ ගෙනවුත් දුන්නු නම් නැගිටැ දොහොතින් සකසා පිළිගත යුතු. ඉදින් නො ගත්තේ නම් “මේ භික්‍ෂු දැන් ම පටන් සම්භෝග කෝප්‍ය කරන්නේ ය”යි ආචාර්‍ය්‍යයන්ට සිතිය හැකි බැවිනි. ගත් ගමන් ම තෙල් පාදයෙහි නො ගැල්විය යුතු. එය ආචාර්‍ය්‍යයන්ගේ ශරීරයෙහි ගල්වන තෙලක් නම් නුසුදුසු බැවිනි. එ බැවින් පළමු කොට, හිස ගල්වා පසුවැ පිටිකර ආදියෙහි ගැල්විය යුතු. ඇවැත්නි! මෙය සියල්ලට පරිහරණය පිණිස තිබෙන තෙලෙකි. පාදයෙහි ද ගල්ව”යි කියන ලද නම් එසේ ගල්වා ගෙනැ “ස්වාමීනි තෙල් නළ තබන්නදැ?” යි කියා ආචාර්‍ය්‍යයන් ගන්නා කල දිය යුතු. ගිය දවස් පටන් ම “ස්වාමීනි! මට කර්‍මස්ථානයක් දී වදාරන්නැ”යි නො කිය යුතු. දෙවන දවස පටන් ආචාර්‍ය්‍යයන්ට ප්‍ර‍කෘති උපස්ථායකයෙක් ඇත් නම් ඔවුන්ගෙන් ඉල්වා ගෙනැ වත් කළ යුතු. ඉල්ලූ කල ද නො දෙත් නම් අවකාශ ලත් විටෙක කළ යුතු. වත් කරන්නහු විසින් කුඩා වූ ද මධ්‍යම වූ ද මහත් වූ දැන් තුන් ආකාර වූ ම දැවටු පිරිනැමිය යුතු සීත වූ ද උෂ්ණ වූ දැ යි දෙවැදෑරුම් මුව දෝනා ජලය හා නහන ජලය ද පිළියෙළ කළයුතු. ආචාර්‍ය්‍යයන් එයින් යමක් පරිභෝග කෙළේ නම් නිතර එයම එළවිය යුතු. නියම නැති වැ යම් යම් දෙයක් පරිභෝග කරත් නම් ලද සැටියෙන් එළවිය යුතු. බොහෝ කොටැ කීමෙන් කිම? භගවත් බුදුන්වහන්සේ විසින් “අන්තෙ වාසිකෙන භික්ඛවෙ ආචාරියමහි සම්මා වත්තිතබ්බං තත්‍රායං සම්මා වත්තනා, කාලස්සෙව වුට්ඨාය උපාහනා ඔමුඤ්විත්‍වා එකංසං උත්තරාසංගං කරිත්‍වා දන්නකට්ඨාං දාතබ්බං. මුඛොදකං දාතබ්බං. ආසනං පඤ්ඤාපෙතබ්බං. සචෙයාගු හොති භාජනං ධොවිත්‍වා යාගු උපනාමෙතබ්බ”[178] යනාදීන් ඛන්‍ධකයෙහි පණවා වදාළ සියලු වත් මැනෙවින් කළ යුතු. “මහණෙනි! අතවැස්සා විසින් ආචාර්යයන් කෙරෙහි මනා වැ පැවතිය යුතු. මේ ඒ මනා පැවැත්ම යි. උදැසන්හි ම නැගිටැ වහන් ගළවා උත්තරාසංගය සකස් කොටැ පෙරවැ දැවටු දඬු දිය යුතු. මුව දෝනා ජලය දිය යුතු. අසුන් පැණවිය යුතු. කැඳ ඇත්නම් භාජනය සෝදා කැඳ පිළිගැන්විය යුතු.” යනු එහි අදහස යි.

 

මෙසේ වත්තසම්පත්තියෙන් ආචාර්‍ය්‍යයන්ගේ සිත් ගන්නහු විසින් සවස වැඳැ “යව”යි කී කල යා යුතු. යම් දවසෙක “කුමක් සඳහා ආයෙහි දැ”යි විචාරණ ලද්දේ නම් එදින ආ කාරණය කිය යුතු. එසේ නො විචාරන්නේ මැ වත් ඉවසා නම් දස දවසක් හෝ පසළොස් දවසක් හෝ ඉක්මුණු කල්හි දිනෙක “යව” යි කියද්දී ද නො ගොස් අවසරය ලබා ගෙනැ පැමිණි කාරණය දැන්විය යුතු. අවේලාවෙක හෝ ගොස් කුමක් සඳහා ආයේදැ”යි විචාළ කල දැන්විය යුතු. ඉදින් “උදෑසන ම එව”යි කීයේ නම් උදෑසනම යා යුතු. ඒ නියමිත වේලායෙහි පිත් ලෙඩකින් කුස දැවේ නම් අග්නිය අඩු බැවින් අහර හෝ නො දිරා නම් අනෙක් රෝගයකින් හෝ පෙළේ නම් ඒ බව තතු පරිදි දන්වා තමහට සප්පාය වේලාව සැල කොටැ ඒ වේලායෙහි එළඹිය යුතු. අසප්පාය වේලායෙහි කියා දෙනු ලබන කර්‍මස්ථානය මෙනෙහි කරන්නට නො හැකි බැවිනි.

 

“කමටහන් දෙන කල්‍යාණ මිත්‍ර‍යා කරා එළඹැ”

යන්නෙහි විස්තරය නිමියේ ය.

 

“ස්වකීය චරිතානුකූල වූ කර්‍මස්ථානයක් ලබා ගෙනැ” යන මෙහි චරිත වනාහි රාගචරිත, ද්වෙෂචරිත, මෝහචරිත, ශ්‍ර‍ද්ධාචරිත, බුද්ධිචරිත, විතර්‍කචරිත යයි සවැදෑරුම් වේ. ඇතැම්හු රාගද්වේෂචරිත, රාගමොහචරිත, ද්වේෂමොහචරිත, රාගද්වේෂමොහචරිත යයි සතරෙක් ද, ශ්‍ර‍ද්‍ධාබුද්‍ධිචරිත, ශ්‍ර‍ද්‍ධාවිතර්‍කචරිත, බුද්ධිවිතර්‍කචරිත, ශ්‍ර‍ද්‍ධාබුද්ධිවිතර්‍කචරිත යන සතරෙක් දැ යි සංසර්‍ග සන්නිපාත වශයෙන් ලැබෙන අට සමඟ චරිත තුදුසක් දක්වති. එසේ භේද දක්වත් හොත් රාගාදිය ශ්‍ර‍ද්ධාදිය සමග එක් කිරීමෙන් අනෙක විධ චරිත කිය යුතු ය. එහෙයින් සැකෙවින් චරිත සය මැ ය යි දත යුතු. චරියා ප්‍ර‍කෘති උත්සන්නතා යනු දු අර්‍ත වශයෙන් මැ යි. (“රාගාදීහු මැ සන්තානයෙහි උත්සන්න භාවයෙහි පවත්නා හෙයින් චරියා නමුදු වෙති. ප්‍ර‍තිපක්‍ෂ භාවනාවක් නැති කල්හි ඒ ඒ සතන්හි ස්වභාව හෙයින් ප්‍ර‍කෘති නමුදු වෙති. අන්‍ය ධර්‍මයන්ට වඩා අධික විසින් උත්සත්තතා නමුදු වෙත්” යනු පැරකුම්බා සන්න යි.

 

මේ චරිතයන්ගේ වශයෙන් පුද්ගලයෝ රාගචරිතයා ය, ද්වේෂචරිතයා ය, මොහ්චරිතයා ය, ශ්‍ර‍ද්‍ධාචරිතය ය, බුද්ධිචරිතයා ය, විතර්‍කචරිතයා යි සදෙනෙක් වෙත්.

 

ඔවුන් අතුරෙන් රාගචරිතයාහට වනාහි කුශල ප්‍ර‍වෘත්ති සමයෙහි ශ්‍ර‍ද්‍ධාව බලවත් වේ. ශ්‍ර‍ද්‍ධාව රාගයට ආසන්න ගුණ ඇති බැවිනි.

 

ඒ එසේ මැ යි:- අකුශල පක්‍ෂයෙහි වූ රාගය සිනිඳු ය. අතිරූක්‍ෂ නැත. එසේම කුශල පක්‍ෂයෙහි වූ ශ්‍ර‍ද්‍ධාව සිනිඳු ය. අතිරූක්‍ෂ නැත. රාගය වස්තුකාම සොයන්නේ ය. ශ්‍ර‍ද්‍ධාව ශීලාදි ගුණ සොයන්නේ ය. රාගය තමහට අහිත දේ නො හරින්නේ ය. ශ්‍ර‍ද්‍ධාව හිත දේ නො හරින්නේ ය. මෙසේ බැවින් රාගචරිතයාහට ශ්‍ර‍ද්‍ධාචරිතයා සභාග යි.

 

ද්වේෂ චරිතයාහට කුශල ප්‍ර‍වෘත්ති සමයෙහි බුද්ධිය බලවත් වේ. බුද්ධිය ද්වේෂයට ආසන්න ගුණ ඇති බැවිනි.

 

ඒ එසේ මැ යි:- අකුශල පක්‍ෂයෙහි වූ ද්වේෂය ස්නේහ රහිත ය. අරමුණෙහි නො ඇලෙන්නේ ය. එසේ ම කුශල පක්‍ෂයෙහි බුද්ධිය ස්නේහ රහිත ය. අරමුණෙහි නො ඇලෙන්නේ ය. ද්වේෂය නැති වරද ද සොයන්නේ ය. බුද්ධිය ඇති වරද සොයන්නේ ය. ද්වේෂය සත්ත්‍වයන් දුරු කරන ආකාරයෙන් පවත්නේ ය. බුද්ධිය සංස්කාරයන් දුරු කරන ආකාරයෙන් පවත්නේ ය. මෙසේ බැවින් ද්වේෂ චරිතයාහට බුද්ධි චරිතයා සභාග යි.

 

මෝහ චරිතයාහට නූපන් කුසල් උපදවන්නට ව්‍යායාම කරත් ම බොහෝ සෙයින් අන්තරායකර විතර්‍ක උපදී. විතර්‍කය මෝහයට ආසන්න ලක්‍ෂණ ඇති බැවිනි.

 

ඒ එසේ මැයි - මෝහය අරමුණෙහි ව්‍යාකුල වැ පවත්නා බැවින් අනවස්ථිත ය. විතර්‍කය නා නා ප්‍ර‍කාර විතර්‍ක කරන බැවින් අනවස්ථිතය. මෝහය ස්වභාව අවබෝධ වශයෙන් අරමුණෙහි නො බැසැ පවත්නා බැවින් චඤ්චල ය. විතර්‍කය ලඝු වූ කල්පනා ඇති බැවින් චඤ්චල ය. මෙසේ බැවින් මෝහ චරිතයාහට විතර්‍ක චරිතයා සභාග යි.

 

තවද, ඇතැම් කෙනෙක් තෘෂ්ණාචරිත - මානචරිත - දෘෂ්ටි චරිත වශයෙන් අන්‍ය වූත් චරිත තුනක් දක්වති. එහි තෘෂ්ණා නම් රාග ය. මානය රාගය හා සම්ප්‍ර‍යුක්ත ය. එබැවින් ඒ තෘෂ්ණා - මාන දෙක රාග චරිතය ම අනුව යන්නේ ය. දෘෂ්ටිය මෝහ නිදාන කොටැ ඇති බැවින් දෘෂ්ටිචරිතය මෝහචරිතයෙහි ම වැටෙන්නේ ය.

 

චරිත නිදානාදිය

1.  මේ සවැදෑරුම් චරිතයන්ගේ නිදාන කිමෙක් ද

2.  මේ රාග චරිතයා ය. මේ ද්වේෂ චරිතයාය යනාදිය කෙසේ දත හැකි ද

3.  කවර චරිතයක් ඇති පුද්ගලයෙකුට කිමෙක් සප්පාය ද

 

1. රාගචරිත, ද්වේෂචරිත, මෝහචරිත යන මුල දැක්වුණු චරිත තුන පූර්‍වජාතික පුරුද්ද නිදාන කොට ඇත්තේ ය යි ද; පඨවි, ආප, තේජෝ, වායු යන ධාතු යන ධාතු හා වා, පිත්, සෙම් යන දොස් නිදාන කොට ඇත්තේ ය යි ද සමහරු කියත්. (සමහරු යන්නෙන් විමුක්තිමාර්‍ග කර්‍තෘ වූ උපතිස්ස ස්ථවිරයන් ගන්න.)

 

ඒ එසේ මැ යි:- පූර්‍ව ජන්මයෙහි ඉෂ්ට ක්‍රියා බහුල කොටැ ඇත්තේ ද, දෙව් ලොවින් චුත වැ මෙහි උපන්නේ ද, රාගචරිතයෙක් වේ. පූර්‍ව ජන්මයෙහි අත් පා සිඳුම් වධ බන්‍ධන වෛර ක්‍රියා බහුල කොටැ ඇත්තේ ද, නිරයෙන් හෝ නාග යෝනියෙන් චුත වැ මෙහි උපන්නේ ද, ද්වේෂ චරිතයක් වේ. පූර්‍ව ජන්මයෙහි බහුල වැ මත්පැන් පානය කෙළේ ද, ධර්‍ම ශාස්ත්‍ර‍ අභ්‍යාස නො කෙළේ ද, තිරිසන් යෝනියෙන් චුත වැ මෙහි උපන්නේ ද මෝහචරිතයෙක් වෙයි. පෙර පුරුද්ද නිදාන කොටැ ඇතැයි කීයේ මේ සඳහා ය.

 

පෘථිවි ධාතු හා අබ් ධාතු උත්සන්න පුද්ගලයා මෝහ චරිතයෙක් වේ. තේජෝ ධාතු හා වායෝ ධාතු උත්සන්න පුද්ගලයා ද්වේෂචරිතයෙක් වේ. මේ සිව් ධාතු සම වැ ඇති පුද්ගලයා රාගචරිතයෙක් වෙයි.

 

“සෙමින් ශුක්‍ර‍ ප්‍රාබල්‍ය වන බැවින්” සෙම අධික කොට ඇත්තේ රාග චරිත වේ. “වාතය වියවුල් වැ පවත්නා බැවින්” වාතය අධික කොටැ ඇත්තේ මෝහචරිත වේ. නැතහොත් සෙම අධික කොටැ ඇත්තේ මෝහ චරිත වේ. වාතය අධික කොටැ ඇත්තේ රාග චරිත වෙයි. ධාතු හා දෝෂ නිදාන කොට ඇතැයි කීයේ මේ සඳහා ය.

 

(මෙසේ විමුක්තිමාර්ග මතය දක්වා ඉක්බිති එහි දොස් කියති.)

 

පූර්‍ව ජන්මයෙහි ඉෂ්ට ක්‍රියා ශුභ ක්‍රියා බහුල කොටැ ඇති වූ ද, දෙව් ලොවින් චුත වැ මෙහි උපන්නා වූ ද, සියල්ලෝ රාගචරිතයෝම නො වෙති. එයින් අන්‍යයෝ හෝ ද්වේෂමෝහචරිතයෝ නොවෙති. එසේ ම ධාතුන් පිළිබඳ යට දැක්වුණු උත්සද නියමයෙක් ද නැත. දෝෂ නියම කළ තන්හි දු රාග මෝහ දෙකම කියන ලදි. භෙද පූර්‍වාපර විරුද්ධ ය. (“සෙම්භාධිකො රාග චරිතො”යි කියා නැවත “සෙම්භාධිකො මොහචරිතො”යි ද “වාතාදිකො මොහචරිතො” යි කියා නැවත “වාතාධිකො රාගචරිතො” යි කී බැවින් පූර්‍වාපර විරුද්ධ යි.) ශ්‍ර‍ද්ධාචරිතාදින් පිළිබඳ එක නිදානයකු දු නො කියන ලද්දේ ය. එබැවින් ඒ සියල්ල නුවණින් විනිශ්චය කොටැ කියන ලද්දේ නො වේ යයි දත යුතු.

 

චරිත පිළිබඳ අත්‍ථ කථාචාර්‍ය්‍ය මතානුසාර විනිශ්චය මෙසේ ය.

 

කියන ලද මැයි විපාකකථා උත්සද කීර්‍තනයෙහි.

 

“ඉමෙ සත්තා පුබ්බහෙතු නියාමෙන ලොභූස්සදා දොසුස්සදා මොහුස්සදා අලොභුස්සදා අදොසුස්සදා අමොහුස්සදා ච හොන්ති” මේ සත්ත්‍වයෝ පූර්‍ව හේතු නියමයෙන් ලෝභොත්සන්න ද, ද්වේෂොත්සන්න ද, මෝහෝත්සන්න ද, අලෝභෝත්සන්නද, ද්වේෂොත්සන්න ද, අමෝහෝත්සන්න ද වෙති. එහි විස්තර මෙසේ ය.

 

කර්‍ම කරන කාලයෙහි යමෙකුගේ ලෝභය බලවත් වැ අලෝභය දුබල වේ ද, ද්වේෂය හා අමෝහය බලවත් වැ ද්වේෂ-මෝහ දුබල වේ ද, ඔහුගේ දුබල වූ අලෝභය ලෝභය මැඩපියන්නට සමර්‍ථ නොවේ. බලවත් වූ ද්වේෂ හා අමෝහ ද්වේෂ - මෝහ මැඩැලන්නට සමර්‍ථ වේ. එසේ හෙයින් එබඳු කර්‍මයෙන් උපන් පුද්ගලයා ලෝභී වූ - ක්‍රෝධ රහිත ස්වභාව ඇති විදුරු නුවණින් යුක්තයෙක් වන්නේ ය.

 

කර්‍ම කරන කාලයෙහි යමෙකුගේ ලෝභ ද්වේෂ බලවත් වැ අලෝභ හා ද්වේෂ දුබල වේ ද, අමෝහය බලවත් වැ මෝහය දුබල වේ ද එබඳු කර්‍මයෙන් උපන් පුද්ගලයා දත්තාභය තෙරුන් මෙන් ලෝභී වූ ද, ක්‍රෝධ කරන සුලු වූ ද, විදුරු නුවණැතියෙක් වන්නේ ය.

 

යමකු කර්‍ම කරන කාලයෙහි ලෝභ- මෝහ බලවත් වැ ද්වේෂ දුබල වේ ද, හෙතෙමේ ලෝභී වූ ද, මූඪ වූ ද, ක්‍රෝධ නො කරන සුල්ලෙක් වන්නේ ය.

 

යමකු කර්‍ම කරන කල්හි ලෝභ-ද්වේෂ-මෝහ යන තුන් හේතුම බලවත් වැ අලෙම්භ-ද්වේෂ-අමෝහ දුර්‍බල වේ ද, හෙතෙමේ ලෝභී වූ ද, ක්‍රෝධ කරන සුලු වූ ද, මුඪයෙක් වන්නේ ය.

 

යමකු කර්‍ම කරන කල්හි අලෝභ බලවත් වැ ලෝභ දුර්ලබ වේද, ද්වේෂ-මෝහ බලවත් වැ ද්වේෂ - අමෝහ දුර්බල වේ ද හෙතෙමේ නිර්‍ලෝභ වූ දිව්‍ය අරමුණු දැක කම්පිත නො වන මඳ කෙලෙස් ඇතියෙක් වේ. එසේ වුව ද කිපෙනසුලු මන්‍ද බුද්ධිකයෙක් වන්නේ ය.

 

යමකු කර්‍ම කරන කල්හි අලෝභ-ද්වේෂ බලවත් වැ ලෝභ-ද්වේෂ දුර්බල වේ ද මෝහ බලවත් වැ අමෝහ දුර්බල වේ ද හෙතෙමේ යට දැක්වුණු සේ ම නිර්‍ලෝභ- නො කිපෙන සුල්ලෙක් වේ. එහෙත් මූඪ වන්නේ ය.

 

යමකු කර්‍ම කරන කල්හි අලෝභ-අමෝහ බලවත් වැ ලෝභ-මෝහ දුර්බල වේ ද ද්වේෂ බලවත් වැ ද්වේෂ දුර්බල වේ ද, හෙතෙමේ පෙර කී සේ නිර්ලෝභ ප්‍රාඥයෙක් වේ. එහෙත් දුෂ්ට වූ කිපෙන සුල්ලෙක් වන්නේ ය.

 

යමෙකු කර්‍ම කරන කල්හි අලෝභාදි හේතු ත්‍ර‍ය බලවත් වැ ලෝභාදි හේතු ත්‍ර‍ය දුර්බල වේ ද, හෙතෙමේ මහා සංඝරක්‍ෂිත තෙරුන් මෙන් නිර්‍ලොභ වූ ද අක්‍රෝධන වූ ද ප්‍රාඥ වූ ද උතුමෙක් වන්නේ ය.

 

කිය යුත්තෙක් ඇති. මෙහි ලෝභියා ය යි කියන ලද්දේ රාගචරිතයා ය. කිපෙන සුල්ලා ය යි කියන ලද්දේ ද්වේෂ චරිතයා ය, මූඪයාය යි කියන ලද්දේ මෝහචරිතයා යි. ප්‍රාඥ නම් බුද්ධචරිතයා ය. ලෝභ-ද්වේෂ නැති තැනැත්තේ ප්‍ර‍සන්න ප්‍ර‍කෘතික බැවින් ශ්‍ර‍ද්ධිචරිතයා ය. තවද අමෝහ පරිවාර කර්‍මයෙන් උපන් තැනැත්තා බුද්‍ධිචරියා වන්නා සේ ම බලවත් ශ්‍ර‍ද්ධා පරිවාර කර්‍මයෙන් උපන් තැනැත්තේ ශ්‍ර‍ද්ධාචරිතයා ය. කාමවිතර්‍කාදිය පියවර කොට ඇති කර්‍මයෙන් උපන්නේ විතර්‍කචරිතයා ය. ලෝභාදිය මිශ්‍ර‍ කොට ඇති කර්‍මයෙන් උපන්නේ මිශ්‍ර‍චරිතයා යි.

 

මෙසේ ලෝභාදීන් අතුරෙන් යම් කිසිවක් පියවර කොට ඇති ප්‍ර‍තිසන්‍ධි ජනක කර්‍මය චරිත පිළිබඳ නිදාන ය යි දත යුතුයි.

 

2.  මේ රාගචරිතයා ය, මේ ද්වේෂචරිතයා ය යනාදිය කෙසේ දත හැකි ද

 

“ඉරියාපථතො කිච්චා - භොජනා දස්සනාදිතො

ධම්මප්පවත්තිතො චෙච - චරියායො විභාවයෙ”

 

‘ඉරියව් වශයෙන් ද, කෘත්‍ය වශයෙන් ද, වැළඳීම් වශයෙන් ද, දර්‍ශනාදි වශයෙන් ද, ධර්‍ම ප්‍ර‍වෘත්ති වශයෙන් ද, චරිත දැනැ ගන්නේ ය’

 

 

ඉරියව් වශයෙන් චරිත දැනැ ගන්නා ආකාරය.

ගමන

 

රාගචරිතයා ප්‍ර‍කෘති ගමනින් යන කළ ලීලාවෙන් යන්නේ ය සෙමෙන් සම වැ පා තබා සමවැ ම පා නගන්නේ ය. ඔහුගේ පාද උක්කුටික ය (“පය යම් කොටැ හෙළතු දු පියවර වනාහි විලුඹින් හා අක්පයින් ගැළේ මැද නො ගැළෙන්නේ ය” යනු පැරකුම්බා සන්න යි.)

 

ද්වේෂචරිතයා පතුල් අගින් බිම සාරන්නේ මෙන් යන්නේ ය. පාද වහා බිම තබා වහාම නඟන්නේ ය. ඔහුගේ පාද පස්සෙන් හයන ලද්දාක් මෙන් වෙ යි.

 

මෝහචරිතයා අවුල් ගමනින් යන්නේ ය. තැති ගත්තක්හු මෙන් පා බිම තබා තැති ගත්තක්හු මෙන් නඟා යන්නේ ය. ඔහුගේ පාද විලුඹින් හා අක්පල්ලෙන් වහා එසවෙන්නේ ය.

 

කීයේ  මැ යි :- මාගන්‍දිය සුත්‍රොත්පත්තියෙහි :

“රත්තස්සහි උක්කුටිකං පදං භවෙ

දුට්ඨස්ස හොති අනුකඩ්ඨිතං පදං

මූළහස්ස හොති සහසානුපීලිතා

විවතතච්ඡද්දස්සිදමිදිසං පදං”[179] යි.

 

‘රාගිහුගේ පාද උක්කුටික ය. (විලුඹින හා අක්පතුලෙන් ගැළේ.) ද්වේහුගේ පාද පස්සෙන් අදනා ලද්දේ වේ. මූඪයාගේ පාද විලුඹින් හා අක්පතුලින් වහාම එබෙයි. මෙබඳු වන්නේ ප්‍ර‍හීන කෙලෙස් ඇතියන්ගේ පාද යි’ යනු එහි භාව යි.

 

සිටීම හා ඉඳීම

 

රාගචරිතයාගේ සිටීම හා ඉඳීම ප්‍ර‍සාද ජනක ය, මිහිරි ය, ද්වේෂචරිතයාගේ සිටීම හා ඉඳීම තද ය, දැඩි ය. මෝහචරිතයාගේ සිටීම හා ඉඳීම අවුල් ය.

 

නිදීම

 

රාගචරිතයා සෙමෙන් සම කොටැ යහන පණවා ගෙනැ සෙමෙන් වැද හෙව අඞ්ග ප්‍ර‍ත්‍යඞ්ග ඔබමොබ නොවිසිරෙන සේ මැනෙවින් තබාගෙනැ ප්‍ර‍සාද ජනකාකාරයෙන් නිදන්නේ ය. පුබුදුවනු ලබන කල්හි දු වහා නැඟී සිටැ සැක ඇත්තකු මෙන් සෙමෙන් ප්‍ර‍තිවචන දෙන්නේ ය.

 

ද්වේෂචරිතයා යුහු වැ කෙසේ හෝ යම්තම් දෙයකින් යහන පණවා ගෙනැ මුළු ඇඟ ම හෙළා ලන ලදු වැ මුහුණත් හකුළුවා ගෙනැ නිදන්නේ ය. පුබුදුවනු ලබන කල්හි දු වහා නැගී සිටැ කිපී එකකු මෙන් ප්‍ර‍තිවචන දෙන්නේ ය.

 

මෝහචරිතයා යහන අවුල් සේ පණවා ගෙනැ අත් පා එහි මෙහි දමාලන ලදු වැ බොහෝ සේ මුණින් හෙවැ නිදන්නේ ය. පුබුදුවන් ලබන කල්හි දු “හුම් හුම්”යි කියමින් මැලිකමින් නැඟී සිටින්නේ ය.

 

සද්ධාචරිතාදීන්ගේ චරිත ද පිළිවෙළින් රාගචරිතාදීන්ට සමාන බැවින් ඔවුන්ගේ ඉරියව් ද මෙබඳු යයි දත යුතු යි.

 

කෘත්‍ය වශයෙන් චරිත දැනගන්නා ආකාරය

 

කෘත්‍ය නම් හැමදීම් ආදිය යි. රාගචරිතයා හමදින කල්හි මුස්න මැනෙවින් ගෙනැ යුහුසුලු නො වී වැලි නොවිසුරුවමින් නිකමල් ඇතිරියක් අතුරන්නා සේ පිරිසිදු වැ සම කොටැ හමදින්නේ ය. ද්වේෂචරිතයා මුස්න තර කොටැ ගෙනැ යුහු යුහුවැ දෙපස වැලි නඟමින් රළු හඬින් පිරිසිදුකම් නො බලා විසම කොටැ හමදින්නේ ය. මෝහචරිතයා මුස්න බුරුලින් ගෙනැ වැලි පෙරලමින් කැලිකසල අලලමින් අපිරිසිදු වැ විසම කොටැ හමදින්නේ ය. සිව්රු සේදීම් පඬු පෙවීම් ආදි සියලු කෘත්‍යයන්හි ද පිළිවෙළ මෙසේ ය.

 

ඒ එසේ මැ යි :- රාගචරිතයා දක්‍ෂ වැ මිහිරි ලෙස සම කොටැ සකස් කොටැ වැඩ කරන්නේ ය. ද්වේෂචරිතයා ස්ථිර වැ දැඩි ලෙස විසමකොටැ වැඩ කරන්නේ ය. මෝහචරිතයා අදක්‍ෂ වැ අවුල් ලෙස විසම කොටැ පරිච්ඡේද රහිතවැ වැඩ කරන්නේ ය. රාගචරිතයාගේ සිවුරු පෙරවුම පවා ඉතා දැඩිත් නො වේ, ඉතා සිථිලත් නො වේ. දුටුවන් පහදින සේ පරිමණ්ඩල කොටැ හාත්පසින් වට කොටැ ය. ද්වේෂචරිතයා ගේ සිවුරු පෙරවුම ඉතා දැඩි වේ. පිරිමඩුලු නො වේ. (සිවුරු එහෙන් මෙහෙන් එල්ලෙන්නේ වේ.) මෝහචරිතයාගේ සිවුරු පෙරවුම බුරුල් ය. අවුල් ය. ශ්‍ර‍ද්ධාචරිතාදීන් පිළිබඳ වැ ද මෙසේ ම දත යුතු යි.

 

වැළඳීම් වශයෙන් චරිත දැනැ ගන්නා ආකාරය

 

රාගචරිතයා සිනිඳු වූ මධුර භොජන ප්‍රිය කරන්නේ ය. වළඳන කල්හි ආලොපය ඉතා මහත් කොටැ නො ගෙනැ වට කොටැ රසවිඳිමින් සෙමෙන් වළඳන්නේ ය. මිහිරි වූ දෙයක් ලැබුණු කල සොම්නස් වන්නේ යි. ද්වේෂචරිතයා රළු වූ ඇඹුල් ආහාර ප්‍රිය කරන්නේ ය. වළඳන කල්හි ආලෝපයෙන් කට පුරවා ගෙනැ රස බැල්මක් නැති වැ යුහු යුහු වැ වළඳන්නේ ය. අමිහිරි දෙයක් ලැබුණු විට දොම්නස් වන්නේ යි. මෝහචරිතයා අනියත රුචික ය අසවල් රසයට ප්‍රිය යයි කිය නො හැකි ය. වළඳන කල්හි කුඩා ආලෝප ගෙනැ වට නොකොටැ බත්තුලු භාජනයෙහි ද හෙලමින් මුඛයෙහි ද ගා ගනිමින් වික්‍ෂිප්ත වැ නොයෙක් දේ කල්පනා කරමින් වළඳන්නේ ය. ශ්‍ර‍ද්‍ධාචරිතාදි තුන් දෙනාගේ පැවැත්ම ද පිළිවෙළින් යට කී බඳුයයි දත යුතු.

 

දර්‍ශනාදි වශයෙන් චරිත දැනැගන්නා ආකාරය

 

රාගචරිතයා සුළු වූ හේ සිත්කලු රූපයක් දුටු විට මවිත වූවකු මෙන් බොහෝ වේලා සිටින්නේය. ස්වල්ප ගුණයෙහි ද ඇලේනනේ ඇති දෝෂ ගණනට නො ගන්නේ ය. යම් තැනෙක වැසැ යනවිට වියෝග නො කැමැති වැ අපේක්‍ෂා සහිත වැ ම යන්නේ යි. ද්වේෂචරිතයා ස්වල්ප වූ ද අමනාප රූපයක් දුටු කල ක්ලාන්ත වූවකු මෙන් මඳ වේලාවක් ම බලා සිටින්නේ ය. ස්වල්ප දොෂයෙහි ද ගැටෙන්නේ ය. ඇති ගුණ පවා ගණනට නො ගන්නේ ය. වුසූ තැනින් යන කල මිදී යන රිස්සෙන් අපේක්‍ෂා රහිත වැ ම යන්නේ ය. මෝහ චරිතයා යම්කිසි රූපයක් දුටු කල එහි ගුණ දෝෂ විවේචනය පර ප්‍ර‍ත්‍යයෙන් කරන්නේ ය. අන්‍යයෝ නින්‍දා කෙරෙත් නම් තෙමේත් නින්‍දා කරන්නේ ය. අන්‍යයෝ ප්‍ර‍ශංසා කෙරෙත් නම් තෙමේත් ප්‍ර‍ශංසා කරන්නේ ය. හේ වනාහි අඥාන උපේක්‍ෂායෙන් යුක්ත ය. ශබ්ද ශ්‍ර‍වණාදියෙහි ද මේ නියා මැ යි. ශ්‍ර‍ද්‍ධාචරිතාදිහ ද මේ අනුසාරයෙන් දත යුතු. ඔවුන් මොවුන් හා සභාග බැවිනි.

 

ධර්‍ම ප්‍ර‍වෘත්ති වශයෙන් චරිත දැනැ ගන්නා ආකාරය.

 

රාගචරිතයා කෙරෙහි, මායා - සාඨෙය්‍ය - මාන - පාපිච්ඡතා-මහිච්ඡතා - අසන්තුට්ඨිතා - සිඞ්ග - චාපල්‍ය යනාදි ක්ලේශ ධර්‍ම බහුල වැ ඇත්තේ ය. (මායා නම් තමා කෙරෙහි ඇති දොස් මුවහ කිරීම ය. සාඨෙය්‍ය නම් නැති ගුණ පහළ කිරීම ය. මාන නම් උඩගු බව ය. පාපිච්ඡතා නම් නැති ගුණ පහළ කිරීම් මුඛයෙන් ප්‍ර‍ත්‍යය පිළිගැන්මෙහි පමණ නොදන්නා බව ය. මහිච්ඡතා නම් ඇති ගුණ පහළ කිරීම් මුඛයෙන් ප්‍ර‍ත්‍යය පිළිගැන්මෙහි පමණ නො දන්නා බව ය. අසන්තුට්ඨිතා නම් ලද දෙයින් සතුටු නොවන බව ය. සිඞ්ග නම් අඟක් මෙන් උත්සන්න වූ කෙලෙස් ඇති බව ය. චාපල්‍ය නම් ශරීර හා පරිෂ්කාර හෙබවීම් වශයෙන් පවත්නා ලොලුප්පය. (ආදි ශබ්දයෙන් අහිරික, අනොත්තප්ප, මද පමාදාදිය ගන්න.)

 

ද්වේෂචරිතයා කෙරෙහි, කොධ-උපනාහ-මක්ඛ-පලාස-ඉස්සා-මච්ඡරියාදි ක්ලේශ බහුල වැ පවත්නේ ය. කෝධ නම් කිපෙන බව ය. උපනාහ නම් බැඳ ගන්නා ක්‍රෝධය - වෛරය. මක්ඛ නම් අනුන් ගේ ඇති ගුණ මැකීම ය. පලාස නම් ගුණ ඇත්තේ ඔහුට පමණ ද, මට ද ඒ ගුණ ඇතැයි ගන්නා යුගග්‍රාහය. ඉස්සා නම් පර සම්පත් නො ඉවසීම් ය. මච්ඡරිය නම් ස්ව සම්පත් නිගුහනය. (ආදි ශබ්දයෙන් දොවචස්සතා, පාපමිත්තතාදිය ගන්න.)

 

මෝහචරිතයා කෙරෙහි - ථීන - මිද්ධ - උද්ධච්ච - කුක්කුච්ච - විචිකිච්ඡා - ආධානගාහිතා - දුප්පටිනිස්සග්ගතාදි ක්ලේශ බහුල වැ පවත්නේ ය. ථීන-මිද්ධ නම් චිත්ත චෛතසිකයන්ගේ ගිලන් බව හෙවත් අලස බව ය. උද්‍ධච්ච නම් නොසන්සුන් බව ය. කුක්කුච්ච නම් විපිළිසර හෙවත් පසුතැවිල්ලය. විචිකිච්ඡා නම් සැකය. ආධානගාහිතා නම් නුනුවණින් දැඩිකොටැ ගන්නා බවය. දුප්පටිනිස්සග්ගතා නම් ගත් මිථ්‍යා ග්‍ර‍හණය ඉවත් කොටැ පිය නොහැකි බව ය. (ආදි ශබ්දයෙන් මුට්ඨසච්ච - අසම්පජඤ්ඤාදීන් ගන්න.)

 

ශ්‍ර‍ද්ධාචරිතයා කෙරෙහි - දෙන දෙයෙහි නො ඇලී දීම් සංඛ්‍යාත මුත්තචාගිතාව ද, බුද්ධාදි ආර්‍ය්‍යයන් දක්නා කැමැති බව ද, බණ ඇසියටි බව ද, ප්‍රීති බහුල බව ද, රජ ඇමැති ආදින් හා එක්වැ හැනී නො වසන බව ද, ඇති දොස් මුවහ කිරීම් සංඛ්‍යාත මායා රහිත බව ද, පැහැදිය යුතු තැන පහදින බව ද යනාදිය පවත්නේ ය.

 

බුද්ධිචරිතයා කෙරෙහි-කීකරු බව, කල්‍යාණ මිත්‍ර‍යන් ඇති බව, භෝජනයෙහි පමණ දන්නා බව, සිහි නුවණ ඇති බව, අප්‍ර‍මාද බව, සංවේග කටයුතු තන්හි සංවේග කරන බව, සංවේගයට පැමිණැ නුවණින් වීර්‍ය්‍යකරන බව යනාදිය පවත්නේය.

 

විතර්‍කචරිතයා කෙරෙහි - දොඩමලු බව, ගණසඞ්ගණිකා රාමය, කුශලානුයෝගයෙහි අනභිරතිය, ස්ථිර සිත් නැති බව, රාත්‍රියෙහි දුමන බව හෙවත් මෙසේ මෙසේ කරමි යි විතර්‍ක කරන බව, දහවල් දිලිසෙන බව හෙවත් ඒ විතර්කිතයන්හි යෙදෙන බව අරමුණින් අරමුණට යන බව හෙවත් එකක් මඳක් කොටැ ඒ හැර නැවත අනෙකක් කරන බව යනාදිය බහුල වශයෙන් පවත්නේ ය.

 

යථෝක්ත චරියාවිභාවනාවිධිය වනාහි සර්‍වප්‍ර‍කාරයෙන් පෙළෙහි හෝ අටුවායෙහි ආයේ නො වේ. හුදෙක් ආචාර්‍ය්‍ය මතානුසාරයෙන් දැක්වුණේ ය. එබැවින් ඒ සාරවංශයෙන් නො ගත යුතු.

 

ඒ එසේ මැයි:- රාගචරිතයා කෙරෙහි ඇතැ යි කායූ ඉරියව් ආදිය අප්‍ර‍මාද වැ වසන ද්වේෂචරිතාදීන්ට ද කළ හැකි ය. මිශ්‍ර‍ චරිතයෙන් යුත් එක පුද්ගලයෙකුට දක්‍ෂ ගමන්, අදක්‍ෂ ගමන්, තුරිත ගමන්, ලැසි ගමන් ආදි භින්න ලක්‍ෂණ ඉරියව් ඇතිවිය නොහැකි ය. එබැවින් මෙහි ලා අටුවායෙහි කියූ විධිය ම සාර වශයෙන් සැලකිය යුතු.

 

ඒ එසේ ය:- “චෙතොපරියඤාණස්ස ලාභී ආචාරියො චරියං ඤත්‍වා කම්මට්ඨානං කථෙස්සති ඉතරෙන අන්නෙවා සිකො පුච්ඡිතබ්බො” “පරසිත් දන්නා නුවණ ඇති ආචාර්‍ය්‍ය වරයෝ ඒ නුවණින් චරිත දැන කර්‍මස්ථාන කියති. එබඳු නුවණ නැති ආචාර්‍ය්‍යවරයන් විසින් අතවැස්සන් විචාළ යුතු” එසේ දැක්වුණු බැවින් පසිත් දන්නා නුවණින් හෝ අතවැසියන් විචාරා හෝ මේ රාගචරිතයා ය. මේ ද්වේෂචරිතයා ය යනාදිය දැනගත යුතු.

 

3.  කවර චරිත ඇති පුද්ගලයෙකුහට කුමක් සප්පාය ද

රාගචරිතයාට සප්පාය

 

රාගචරිතයාහට වනාහි අපිරිසිදු වේදිකා ඇති - උඩුමහල්හි නො වැ බිම පිහිටි - භිත්තියෙහි හෝ භූමියෙහි පරිකර්‍ම නො කළ - තෘණ කුටි හෝ කොළ සෙවෙණි කළ පන්සල් ආදියට ඇතුළත් ධූලි ගැසුණු වවුලන් ගැවසුණු කැඩී බිඳී ගිය ඉතා උස් හෝ ඉතා මිටි ඡායා උදක නැති එහෙයින් මැ රළු වූ සිංහ ව්‍යාඝ්‍රාදීන්ගෙන් සැක සහිත අපිරිසිදු විසම මාර්‍ග ඇති බලන්නවුන්ට පවා පිළිකුල් උපදවන මකුණුකැලන් පිරී ගිය විරූප දුර්‍වණ ඇඳ පුටු ඇති සෙනස්න සප්පාය වන්නේ ය. එසේම කොන් ඉරී ගිය ඔබින් මොබින් එල්ලෙන දික් ලුහුඬු නූලින් ගැවසුණු එහෙයින්ම ඉඩිපූ බඳු හණවස්ත්‍ර‍ මෙන් රළු පහස් ඇති කිලිටි බර දුකසේ පරිහරණය කටයුතු හඳනය හා පොරෝණය ද, දුර්‍වණ මැටි පාත්‍ර‍ය හෝ සිදුරු තැන ඇණ හා පෙති ලා ශෝභා නැති කළ බර ඇති විරුප සටහනින් යුත් හිස්කබල සේ පිළිකුල් කටයුතු යකඩ පාත්‍ර‍ය හෝ සප්පාය වන්නේ ය.

 

පිඬු පිණිස යන මාර්‍ගය ද මන නො වඩන අසල ගම් නො පිහිටි විසමයෙක් ම සප්පාය වන්නේ ය. පිඬු පිණිස හැසිරෙන ගම ද නුදුටුවන් මෙන් හැසිරෙන එක ගෙදොරක වත් පිණ්ඩපාතය නො ලැබැ නික්මැ යන්නා දැකැ “වඩින්න ස්වාමීනි”යි ආසන ශාලාවට පමුණුවා කැඳ බත් දී ගොවුදෙහි ගවයකු ඇතුළු කොටැ ඌ දෙස නො බලාම යන්නා සේ ඉවත්වැ යන මිනිසුන් ඇත්තේ ම සප්පාය වන්නේ ය.

 

වළඳවන්නෝ ද දාසයෝ හෝ කම්කරුවෝ වෙත් නම් ඔව්හු ද දුර්‍වණ වැ, දුර්‍දර්‍ශ වැ, කිලිටි හැඳ දුර්‍ගන්‍ධ වැ පිළිකුල් කටයුතු සිරුරු ඇති වැ ඉවත දමාලන සේ අගෞරවයෙන් වළඳවත් නම් එබන්දෝම සප්පාය වෙති.

 

කැඳ බත් හා කැවිලි ද රූක්‍ෂදුර්‍වණ බොඩහමු කුරහන් නිවුඩු සහල් ආදිායෙන් කළ පිළුණු මොහොරු කාඩි හා මේරු පලා-මාළු සහිත යම්කිසිවක් ම සප්පාය වන්නේ ය.

 

හෙද යම් තම් කුස පිරෙන පමණට ය. ඉරියව් වලින් සප්පාය වන්නේ සිටීම හෝ සක්මන් කිරීම ය. අරමුණු වනාහි නීලාදි වර්‍ණ කසිණයන් අතුරෙන් අපිරිසිදු පැහැති කිසිවක්ම සප්පාය වන්නේ යි.

 

ද්වේෂචරිතයාට සප්පාය

 

ද්වේෂචරිතයාට වනාහි ඉතා උස් ද නොවූ ඉතා මිටි ද නොවූ සෙවණින් හා ජලයෙන් යුත් මොනවට බෙදා ලූ බිත්ති කනු හා හිණි ඇති මල්කමින් ලියකමින් සුසැදි නානාවිධ චිත්‍ර කර්‍මයෙන් විචිත්‍ර‍සම සිනිඳු මෘදු භූමිතල ඇති බඹ විමනක් මෙන් මල් දමින් විසිතුරු කළ පිළිවියනින් සමලඞ්කෘථ පිරිසිදු සිත්කලු ඇතිරි අතුට මොනවට පැණෙවු ඇඳ පුටු ඇති තන්හි තන්හි සුවඳ ගන්වන පිණිස තබන ලද මල් හා වත්සුණු සුවඳින් සුගන්‍ධවත් දුටු පමනින් ප්‍රීති ප්‍රමොද්‍ය උපදවන සෙනස්න ද, කිසි උවදුරු නැති පිරිසිදු සමතලා අලඞ්කාරවත් මාර්‍ග ද සප්පාය වන්නේ ය. සේනාසන පරිෂ්කාර වශයෙන් පණු මකුණු - සර්‍ප - මී ආදීන්ගේ ආශ්‍ර‍ය සිඳලන පිනිස එක ඇඳක් හා පුටුවක් වටනේ ය. ඉන් වැඩි නො වටනේයි. හඳනා පොරෝනා සිවුරුද චීනපට සෝමාරපට කෝසෙය්‍ය සියුම් කපුපිළි සියුම් කොමු පිළි ආදීන් අතුරෙන් ප්‍ර‍ණීත-ප්‍ර‍ණීත දෙයින් කළ එකපට හෝ දෙපට ඇති සැහැල්ලු ශ්‍ර‍මණ සාරුප්‍ය සේ පඬු රැඳු ඉතා පිරිසිදු පැහැ ඇත්තේම වටනේය. පාත්‍ර‍ය ද දිය බුබුලක් මෙන් මනා සටහන් ඇති මැණිකක් මෙන් ඉතා මට වූ නිර්‍මල ශ්‍ර‍මණ සාරුප්‍ය සේ පිරිසිදු පැහැ ඇති යකඩ පාත්‍ර‍ය ම වටනේ ය. පිඬු පිණිස වඩනා මඟ ද උපද්‍ර‍ව රහිත සමතලා සිත්කලු ඉතා දුර ද නොවූ ඉතා ආසන්න ද නොවූ ගම් ඇත්තේ ම වටනේ ය. පිඬු පිණිස වඩනා ගම ද “ආර්‍ය්‍යයන් වහන්සේ දැන් දැන් එති”යි පැන් ඉසැ ඇමදි තන්හි අසුන් පණවා ගෙනැ ගෙට පමුණුවා පැණෙවු ආසනයෙහි වඩා හිඳුවා සකස් කොටැ සියතින් වළඳවන මිනිසුන් ඇත්තේ ම වටනේ ය. වළඳවන්නේ ද විශිෂ්ට රූ ඇති ප්‍ර‍සාද ජනක මැනෙවින් ස්නානය කොට සුවඳ විලවුන් ගල්වා ගත් සුවඳ දුමින් හා වත්සුණු සුවඳින් සුගන්‍ධ ඇති නන්වන් පිරිසිදු සිත්කලු වස්ත්‍රාභරණයෙන් සැරසුණු සකසා වළඳ වන්නේ ම සප්පාය වෙයි. කැඳ බත් හා කැවිලි ද වර්‍ණයෙන් සුවඳින් හා රසයෙන් යුක්ත වූ ඕජා ඇති මනොරම්‍ය සර්‍වාකාර ප්‍ර‍ණීතයම වටනේ ය. එද රිසියෙන තාක් විය යුතු ය. ඉරියව් වශයෙන් සැතපීම හා හිඳීම ද අරමුණු වශයෙන් නීලාදි වර්‍ණ කසිණ අතුරෙන් පිරිසිදු පැහැ ඇති අරමුණු ද සප්පාය වන්නේ ය.

 

මෝහචරිතයාට සප්පාය

 

මෝහචරිතයාට වනාහි අභ්‍යවකාශයට අභිමුඛ වූ සම්බාධ රහිත වූ යම් තැනෙකැ සිට බලන්නවුන්ට කිසිවකින් මුවහ නො වැ දිශා පැනෙත් ද එබඳු වූ සෙනසුන සප්පාය වන්නේ ය. ඉරියව් අතුරෙන් සප්පාය වන්නේ සක්මන් කිරීම ය. අරමුණු ද සුලු කුලු තරම්, සරාව තරම් කුඩා වී නම් නො වටනේ ය. සමබාධ අවකාශයෙහි සිත වඩාලාත් මුළාවට පැමිණෙ යි. එබැවින් කුලු සරාව තරමින් සතර පස් අඟලක් විශාල වැ කරන ලද මහත් වූ කසිණ මණ්ඩලය වටනේ ය. සෙස්ස ද්වේෂචරිතයාට කී බඳු යි.

 

ශ්‍ර‍ද්ධාචරිතයට සප්පාය

 

ශ්‍ර‍ද්ධාචරිතයාට වනාහි ද්වේෂචරිතයා පිළිබඳ වැ කියූ විධිම සප්පාය වන්නේ ය. විශේෂයක් නම් ඔහුට බුද්ධානුස්සති ආදි අනුස්සති සය ද සප්පාය වන බව යි.

 

බුද්ධිචරිතයාට සප්පාය

 

බුද්ධිචරිතයාට සේනාසනාදීන් අතුරෙන් මෙ නම් දෙයෙක් සප්පාය නො වන්නේය යි කිය යුතු නැති. කවරෙක් වුව ද සප්පාය වන්නේය යි කී සේයි.

 

විතර්‍කචරිතයාට සප්පාය

 

විතර්‍කචරිතයාට වනාහි අභ්‍යවකාශයට අභිමුඛ වූ විවෘත සේනාසනය සප්පාය වේ. යම් තැනෙක සිට බලන්නවුන්ට සිත්කලු ආරාම වන පොකුණු ද, පිළිවෙළින් ගම් නියම් ගම් ජනපද ද, නීල වර්‍ණ පර්‍වත ද, පැනෙත් නම් එබඳු තැන් සප්පාය නො වන්නේ ය. එබඳු තැන් විතර්‍කය දුවවන්ට ම හේතු විය හැකි බැවිනි. එහෙයින් ඔහු විසින් ගැඹුරු පර්‍වත විවරයෙහි ද, වනයෙන් මුවහ වූ හත්‍ථිකුච්ඡි පබ්හාර-මහින්‍ද ගුහා බඳු සේනාසනයෙහි ද විසිය යුතු. අරමුණු වශයෙන් ඔහුට මහත් අරමුණු නො වටනේ ය. එ ද විතර්‍ක වශයෙන් දුවන්නට හේතු විය හැකි බැවිනි. වටනේ කුඩා අරමුණු ය. සෙස්ස රාගචරිතයාට කී බඳුයි.

 

“ස්වකීය චරිතානුකූල වූ” යන මෙහි චරිතයන්ගේ ප්‍රභේද පරිච්ඡේද, නිදානපරිච්ඡේද, විභාවනාපරිච්ඡේද, සප්පාය පරිච්ඡේද වශයෙන් විස්තර නිමියේ ය.

 

මෙතෙකිනු දු චරිතානුකූල කර්‍මස්ථාන සර්‍වප්‍ර‍කාරයෙන් ප්‍රකාශකරන ලද්දේ නොවේ. මතු දැක්වෙන මාතෘකා පද විස්තර වන කල්හි එය ස්වයං ප්‍ර‍කාශ වන්නේ ය.

 

දශවිධ කර්‍මස්ථාන විනිශ්චය මාතෘකා මෙසේ ය.

 

1.  සංඛ්‍යා නිර්‍දෙශ වශයෙන්

2.  උපචාර - අර්පණාවහ වශයෙන්

3.  ධ්‍යාන ප්‍රභේද වශයෙන්

4.  සමතික්‍ර‍ම වශයෙන්

5.  වර්‍ධන - අවර්‍ධන වශයෙන්

6.  ආරම්මණ වශයෙන්

7.  භූමි වශයෙන්

8.  ග්‍ර‍හණ වශයෙන්

9.  ප්‍ර‍ත්‍යය වශයෙන්

10.     චරියානුකූල වශයෙන්

 

යන දශ ආකාරයෙන් කර්‍මස්ථාන විනිශ්චය දත යුතු යි.

 

1.  සංඛ්‍යා නිර්‍දෙශ වශයෙන්.

 

කසිණ             10

අසුභ              10

අනුස්සති           10

බ්‍ර‍හ්මවිහාර        4

ආරුප්‍ය             4

සංඥා              1

වවත්‍ථාන           1

                   40

 

දස කසිණ නම්, පඨවිකසිණ, ආපෝකසිණ, තේජෝකසිණ, වායුකසිණ, නීලකසිණ, පීතකසිණ, ලෝහිතකසිණ, ඕදාතකසිණ, ආලෝකකසිණ, පරිච්ඡින්නාකාසකසිණ යන මොහු ය.

 

දස අසුභ නම්, උද්ධුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක, වික්ඛායිතක, වික්ඛිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, පුලවක, අට්ඨික යන මොහු යි.

 

දස අනුස්සති නම්, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති, කායගතාසති, ආනාපානසති, උපසමානුස්සති යන මොහු ය.

 

චතුර් බ්‍ර‍හ්මවිහාර නම්, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන මොහු ය.

 

චතුරාරූප්‍ය නම්, ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන යන මොහු ය.

 

ඒකසංඥා නම්, ආහාරයෙහි ප්‍ර‍තිකූල සංඥා ය.

 

එකවචත්‍ථාන, චතු ධාතු වවත්‍ථාන යි.  

 

මේ සංඛ්‍යානිර්දේශ වශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.

 

2.  උපචාරවහ - අර්පණාවහ වශයෙන්

 

කායගතාසතිය හා ආනාපානසතිය හැරැ බුද්ධානුස්සති ආදි සෙසු අනුස්සති අට ද, ආහාරයෙහි ප්‍ර‍තිකූල සංඥාව ද චතුධාතු වවත්‍ථානය ද යන දශ කර්‍මස්ථාන උපචාරධ්‍යාන පමණක් ගෙනැ දෙන්නේ ය. අර්පණා ගෙනැ නො දෙන්නේ ය. සෙසු පඨවි කසිණාදි සමතිස් කර්‍මස්ථාන අර්පණා ද ගෙනැ දෙන්නේ යි.

 

මේ උපචාරාර්පණාවහ වශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.

 

3.  ධ්‍යාන ප්‍රභේද වශයෙන්

 

අර්පණාවහ කර්‍මස්ථාන තිස අතුරෙන් ආනාපානසතිය හා කසිණ දසය චතුෂ්කධ්‍යානිකය හෙවත් සතර රූපාවචර ධ්‍යාන ගෙනැ දෙන්නේ ය. කායගතාසතිය හා අශුභ දශය ප්‍ර‍ථමධ්‍යානිකය හෙවත් ප්‍ර‍ථමධ්‍යානය පමණඛ් ම ගෙනැ දෙන්නේ ය. මෙත්තා-කරුණා-මුදිතා යන ප්‍ර‍ථම බ්‍ර‍හ්මවිහාරත්‍ර‍ය ත්‍රිකධ්‍යානිකය හෙවත් ප්‍ර‍ථම-ද්‍විතීය-තෘතීය ධ්‍යාන ගෙනැ දෙන්නේ ය. උපේක්‍ෂා බ්‍ර‍හ්මවිහාරය හා අරූපාවචර සතර චතුර්‍ථධ්‍යානික ය හෙවත් චතුර්‍ථධ්‍යානය පමණක් ගෙන දෙන්නේ යි. (මේ කියන ලද්දේ චතුෂ්කනය වශයෙනි.)

 

ධ්‍යාන ප්‍රභේද වශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.

 

4.  සමතික්‍ර‍ම වශයෙන්

 

අඞ්ග සමතික්‍ර‍මය, ආරම්මණ සමතික්‍ර‍මය යි සමතික්‍ර‍ම ද්විවිධ වේ. (සමතික්‍ර‍ම නම් ඉක්මවීම ය.) සියලු ත්‍රික චතුෂ්කධ්‍යානික කර්‍මස්ථානයන්හි ඇත්තේ අඞ්ග සමතික්‍ර‍මය යි. විතර්‍කාදි අඞ්ගයන් ඉක්මැ ඒ අරමුණු කොටැ ම ද්‍විතීයධ්‍යානාදිය ලැබිය යතු බැවිනි. චතුර්‍ථ බ්‍ර‍හ්මවිහාරය යි කියන ලද උපේක්‍ෂායෙහි ඇත්තේත් අඞ්ගසමතික්‍ර‍මය යි. ඒ වනාහි මෙත්තාදීන් පිළිබඳ අරමුණෙහි සොම්නස ඉක්මැ ලැබිය යුතු බැවිනි. සතර අරූපාවචරයන් හි ඇත්තේ ආරම්මණ සමතික්‍ර‍මය යි. ආකාශ කසිණය හැර සෙසු පඨවි නව කසිණයන් අතුරෙන් කිසිවක් ඉක්මැ ආකාශානඤ්චායතනය ලැබිය යුතු වේ. ආකාශාදිය ඉක්මැ විඤ්ඤානඤ්චායතනය ලැබිය යුතු වේ එබැවිනි. සෙස්සෙහි සමතික්‍ර‍මයෙක් නැති. (මෙහි විස්තර මතු පහළ වන්නේ ය.)

 

මෙ සමතික්‍ර‍ම වශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.

 

5.  වර්ධන-අවර්ධන වශයෙන්

 

මේ කර්‍මස්ථාන සතලිස අතුරෙන් වැඩිය යුතු වන්නේ (පැතිර විය යුතු වන්නේ) දසකසිණ පමණෙකි. කුමක් හෙයින් ද යම් තාක් තැන් ඒ කසිණ පතුරවා ද ඒ තාක් තැන් ම දිව්‍යශ්‍රෝත්‍ර‍ ධාතුයෙන් ශබ්ද අසන්නට ද, දිව්‍ය චක්‍ෂුසින් රූප දකින්නට ද, චේතොපරියඤාණයෙන් පර සත්ත්‍වයන්ගේ සිත් දැනගන්නට ද හැකි වන බැවිනි. (කසිණ නො පතළ තැන ඒ ශබ්ද ඇසීම් ආදිය කළ නො හැක.)

 

කායගතාසතිය හා අශුභ එසේ නො වැඩිය යුතු. (නො පැතිර විය යුතු යි සේයි) කුමක් හෙයින් ද කායගතාසතිය සභාග පරිච්ඡේද වශයෙන් ද, අශුභ හාත්පස පාෂාණ නිමිත්තා දින්ගේ වශයෙන් ද, පරිච්ඡේද කරන ලද බැවින් හා එසේ වැඩීමෙන් විශේෂ ආනිසංස නැති බැවින් ය. අසුභ පිළිබඳ පරිච්ජින්නාකාරය මතු අසුභ භාවනායයෙහි ප්‍ර‍කාශ වන්නේ ය. කායගතාසති හා අශුභ වඩාත් හොත් වැඩෙන්නේ කුණපරාශි මැ ය. නොවැඩුව ද කාමරාග විෂ්කම්භනය වන බැවින් කිසි විශේෂ ආනිසංසයෙක් ද නැත. එහෙයින් සෝපාක ප්‍ර‍ශ්නයෙහි “විභූතා භගවා රූපසඤ්ඤා අවිභූතා අට්ඨිකසඤ්ඤා” ‘භාග්‍යවතුන් වහන්ස! රූපසංඥාව (මහත් වැ වඩන ලද ද අප්‍ර‍මාණාලම්බනයෙහි පවත්නෙන්) විභූත ය - පරිව්‍යක්ත ය. අස්ථිසංඥාව අවිභූතය - අපරිව්‍යක්ත ය යි කියන ලදී. එහි රූපසංඥාව විභූතය’යි කීයේ නිමිති වැඩීම් වශයෙනි. අස්ථික සංඥාව අවීභූතය යි කීයේ නිමිති නො වැඩීම් වශයෙනි.

 

එසේ නම් “කෙවලං අට්ඨිකසඤ්ඤාය අඵරිං පඨවිං ඉමං” ‘මේ මුළු පොළොව අස්ථික සංඥායෙන් පැතුරුයෙමි’යි කියන ලද්දේ කුමක් නිසා ද, එසේ කියන ලද්දේ අස්ථිකසංඥා ලාභීහට වැටහෙන ආකාර වශයෙනි. අස්ථිනිමිත්ත වැඩීම් වශයෙන් නොවේ. ධර්‍මාශෝක රජ්ජුරුවන් රාජ්‍යය කරන කල්හි රාජමන්‍දිරයට පැමිණ වූ කරවීක පක්‍ෂියා අවට පිහිටි කැටපත් බිත්තිවල ස්වකීය ඡායාරූපය දැක මෙහි තවත් කරවීක පක්‍ෂීහු ඇතැ’යි සිතා මිහිරි හඬින් හැඩීය. එමෙන් ඒ තෙරුන්නාන්සේ ද අස්ථික සංඥාව ලත් බැවින් සියලු දිසාවන්හි තමහට වැටහුණු අස්ථිනිමිත්ත දන්නාසේක් මුළු පොළොව ඇටින් පිරුණේ යයි සිතූ සේක.

 

වේවා එසේ නම් ධම්මසංගණියෙහි[180] වදාළ අශුභධ්‍යාන පිළිබඳ අප්‍ර‍මාණාරම්මණ බව වරද ද, හෙද වරද නො වේ. ඇතැම්හු මහත් ඉදිමී ගිය ශරීරයෙහිද, මහත් අස්ථිකයෙහි ද, නිමිත්ත ග්‍ර‍හණය කරති. ඇතැම්හු කුඩා උද්ධුමාතකයෙහි ද, කුඩා අස්ථිකයෙහි ද, නිමිත්ත ග්‍ර‍හණය කරති. එහෙයින් ඇතැමුන්ගේ ධ්‍යාන අප්පමාණාරම්මණ වේ. ඇතැමුන්ගේ ධ්‍යාන පරිත්තාරම්මණ වේ (මෙයිනුදු අශුභය නො වඩන ලද බව දැක්වූහු) තවද යමෙක් අශුභවැඩීමෙහි - පැතිරවීමෙහි ආදීනව නො සලකා ම වඩා ද, ඒ සඳහා අප්පමාණාරම්මණය යි කියන ලදි. ආනිසංසයක් නැති බැවින් එසේ නො වැඩිය යුතු. කායගතාසති හා අශුභමෙන් සෙසු ආනාපාණාදියද නො වැඩිය යුතු. කුමක් හෙයින් ද, ආනාපන නිමිති වඩතොත් වැඩෙන්නේ වාතරාශියෙක්ම ය. එතෙක් ද, එය නැහැ අග උඩුතොල යන අවකාශයෙන් පරිච්ඡින්න වූයේ ද වෙයි. එසේ ආදීනව සහිත බැවින් ද, අවකාශයෙන් පිරිසුන් බැවින්ද, ආනාපාන නො වැඩිය යුතු.

 

මෛත්‍රී ආදි බ්‍ර‍හ්මවිහාරයෝ සත්ත්‍වයන් අරමුණු කොටැ ඇත්තෝ ය. එ බැවින් ඒ බ්‍ර‍හ්මවිහාරයන්ගේ නිමිති වඩතොත් වැඩෙන්නේ සත්ත්‍ව රාශිම ය. ඒ වැඩීමෙන් කවර අර්‍ථයෙක් ද, එ බැවින් එ ද නො වැඩිය යුතු. එසේ නම් “මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා”[181] “මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් වඩා” යනාදිය කුමක් හෙයින් වදාළ සේක්ද ඒ වදාළේ පරිග්‍ර‍හ වශයෙන් විනා වර්‍ධන වශයෙන් නොවේ. ආවාස එකෙක දෙකක යනාදි පිළිවෙළින් එක් දිසාවෙක සියලු සතුන් පරිග්‍ර‍හ කොටැ භාවනා කරන්නේ “එකං දිසං ඵරිත්‍වා”යි වදාරන ලදී. එයින් නිමිති කැඩීමෙක් නො වදාරන ලදි. බ්‍ර‍හ්ම විහාර පිළිබඳ ප්‍ර‍තිභාග නිමිති කැල ම නැත. වඩතොත් වැඩිය යුතු වන්නේ ප්‍ර‍තිභාග නිමිති ය; ඒ නැති කල්හි කුමක් වඩනේ ද, මෙහිදු පරිත්තාරම්මණ හා අප්පමාණාරම්මණ පරිග්‍ර‍හ වශයෙන් ම දත යුතු යි. (කතිපය සත්ත්‍වයන්ගේ පරිග්‍ර‍හ වශයෙන් ප්‍ර‍වෘත්ත වූයේ පරිත්තාරම්මණ වෙයි. බොහෝ සත්ත්‍වයන්ගේ පරිග්‍ර‍හ වශයෙන් ප්‍ර‍වෘත්ත වූයේ අප්‍ර‍මාණාලම්බන වෙයි යනු පැරකුම්බා සන්නයි)

 

ආරුප්පාරම්මණයන්හි දුක්සුණු ඉගිළි තැන බැවින් ආකාශය නො වැඩිය යුතු. ඒ ආකාසය මෙනෙහි කළ යුතු වන්නේ කසිණාපගම වශයෙන් ය. එයින් ඔබ වඩතු දු කිසිවක් වැඩෙන්නේ නො වේ. විඤ්ඤාණය ස්වභාව ධර්‍ම බැවින් නො වැඩිය යුතු. ස්වභාව ධර්‍ම නො වැඩිය හැකි ය. ආකිඤ්චඤ්ඤය විඤ්ඤාණයාගේ අපගමය යි. හෙ ද අභාවමාත්‍ර‍ බැවින් වැඩිය නො හැකි ය. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ද ස්වභාව ධර්‍ම බැවින් නො වැඩිය යුතු යි.

 

බුද්‍ධානුස්සති ආදි සෙසු දස කර්‍මස්ථාන ප්‍ර‍තිභාග නිමිති නැති බැවින් වැඩිය යුතු නොවේ. වැඩිය යුත්තේ ප්‍ර‍තිභාග නිමිති යි. බුද්‍ධානුස්සති ආදි කර්‍මස්ථානයන්ට ප්‍ර‍තිභාග නිමිති නැත. එ බැවින් එ ද නො වැඩිය යුතු යි.

 

මේ වර්නාර්ධන වශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.

 

6.  ආරම්මණ වශයෙන්

 

මේ සතලිස් කර්‍මස්ථාන අතුරෙන් දසකසිණ - දස අසුභ-ආනාපාණසති-කායගතාසති යන දෙවිස්ස ප්‍ර‍තිභාග නිමිති අරමුණු කොටැ පවත්නේ ය. සෙසු අටළොස ප්‍ර‍තිභාග නිමිති අරමුණු කොටැ නොපවත්නේ ය.

 

ආනාපාණසතිය හා කායගතාසතිය හැරැ සෙසු අනුස්සති අට ද, ආහාරයෙහි ප්‍ර‍තිකුල සංඥා - චතුධාතු වවත්‍ථාන-විඤ්ඤාණඤ්චායතක - සේවසඤ්ඤානා-සඤ්ඤායතන යන සතර ද ස්වභාව ධර්‍ම අරමුණු කොටැ පවත්නේ ය.

 

දස කසිණ-දස අසුභ - ආනාපාණසති - කායගතාසති යන මේ දෙවිස්ස ප්‍ර‍තිභාග නිමිති අරමුණු කොටැ පවත්නේ ය. සතර බ්‍ර‍හ්මවිහාර-ආකාසානඤ්චායතන - විඤ්ඤාණඤ්චායතන යන මේ සය ප්‍ර‍ඥප්ති අරමුණු කොටැ පවත්නේ ය.

 

(විපුබ්බක-ලෝභිතක-පුළවක - ආනාපාණසති - ආපෝකසිණ තේජෝකසිණ-වායුකසිණ හා සූර්වයාදීන් ආලොක මණ්ඩල අරමුණු කොටැ ඇති ආලොක කසිණ යන මේ අට චලිතාරම්මණ අරමුණු කොටැ පවත්නේ ය භෙ ද ප්‍ර‍තිභාග නිමිති උපදීමට පූර්‍ව භාගයෙහි ය. ප්‍ර‍තිභාග නිමිති වනාහි අචලිත මැ යි. සෙස්ස අචලිත මැ අරමුණු කොටැ පවත්නේ ය. වෑහෙන සැරව ඇති බැවින් විපුබ්බකය ද, වෑහෙන ලේ ඇති බැවින් ලෝහිතකය ද, පණුවන් සැලෙන බැවින් පුළවකය ද, කවුළු සිදුරු ආදියෙන් ඇතුළු වූ සූර්‍ය්‍යලෝකාදිය සැලෙන බැවින් ආලෝකය ද චලිතය යි දත යුතු. සෙස්සන්ගේ චලිතත්‍වය ප්‍ර‍කට මැ යි.)

 

මේ ආරම්මණවශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.

 

7.  භූමි වශයෙන්

 

දසඅශුභ, කායගතාසති, ආහාරයෙහි ප්‍ර‍තිකුලසංඥා යන දොලොස දේවභුමියෙහි ද, ඒ දොලොස හා ආනාපාණසතිය ද යන තෙලෙස බ්‍ර‍හ්මභූමියෙහි ද නැත්තේ ය. මනුෂ්‍ය භූමියෙහි වනාහි මේ සියල්ලම ඇත්තේ යි.

 

මේ භූමි වශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.

 

8.  ග්‍ර‍හණ වශයෙන්

 

දැකීමෙන්, ස්පර්‍ශකිරීමෙන්, ඇසීමෙන් යන ත්‍රිවිධාකාරයෙන් කමටහන් ගත යුතු වේ. එහි විනිශ්චය මෙසේ ය:- වායුකසිණය හැරැ සෙසු නව කසිණ ද, දස අසුභ ද, යන එකුන්විස්ස දැකීමෙන් හෙවත් ඇසින් දුටු වස්තු කරනකොටැ ගෙන මැ උද්ග්‍ර‍හ නිමිති උපදවිය යුතු. පූර්‍වභාගයෙන් ඇසින් බල බලා ම ඔවුන්ගේ නිමිති ගත යුතු බව කී සේ යි.

 

කායගතාසති තචපඤ්චකය දැකීමෙන් ද, සෙස්ස ඇසීමෙන් ද ගත යුතු බැවින් එය දිට්ඨ - සුත වශයෙන් ගත යුත්තේ ය. ආනාපාණසතිය ස්පර්‍ශයෙන් ද, වායු කසිණය දැකීමෙන් හා ස්පර්‍ශකිරීමෙන් ද, සෙසු අටලොස ඇසීමෙන් ද ගත යුතු.

 

ආදිකාර්මිකයාට වනාහි උපේක්‍ෂා බ්‍ර‍හ්මවිහාරයද, සතර ආරූප්‍ය ද නො ගත හැකි. යට තුන් බ්‍ර‍හ්මවිහාරයට කිසුණෙහි රූපාවචර චතුර්‍ථධ්‍යානයට ද, නො පැමිණ නො ඉපද විය හැකි බැවිනි. සෙසු පන්තිස ගත හැකි යි.

 

මේ ග්‍ර‍හණ වශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.

 

9.  ප්‍ර‍ත්‍යය වශයෙන්

 

මේ කමටහන් අතුරෙන් ආකාශ කසිණය හැරැ සෙසු කසිණ නවය ආරුප්‍යයන්ට ප්‍ර‍ත්‍ය ය. අභිඥාවන්ට දස කසිණ ම ප්‍ර‍ත්‍යය වේ. මෙත්තා-කරුණා-මුදිතා යන ප්‍ර‍ථම බ්‍ර‍හ්මවිහාර ත්‍ර‍ය චතුර්‍ථ බ්‍ර‍හ්මවිහාරයට ද, යට යට ආරුප්‍ය මතු මතු ආරුප්‍යයන්ට ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිරෝධ සමාපත්තියට ද ප්‍ර‍ත්‍යය වේ. සියලු දෘෂ්ට ධර්‍ම සුඛ විහාරයෝ විදර්‍ශනාවට හා සමාපත්තියට ප්‍ර‍ත්‍යය වෙත්.

 

මේ ප්‍ර‍ත්‍යය වශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.

 

10.    චරියානුකුල වශයෙන්

 

දස අසුභ - කායගතාසති යන මේ එකොලොස රාගචරිතයාට ද, සතර බ්‍ර‍හ්මවිහාර - නීලාදි වර්‍ණ කසිණ සතර යන අට ද්වේෂචරිත යාට ද එකම ආනාපාණසතිය මෝහචරිතයාට හා විතර්‍කචරිතයාට ද අනුකූල වේ. ශ්‍ර‍ද්ධාචරිතයාට වනාහි බුද්ධානුස්සති ආදි ප්‍ර‍ථම අනුස්සති සය ද, බුද්ධිචරිතයා හට මරණ සති - උපසමානුස්සති - චතුධාතු වවත්‍ථාන - ආහාර ප්‍ර‍තිකුල සංඥා සතර ද අනුකුල වේ. වර්‍ණ කසිණ සතර හැර සෙසු කසිණ ද, සතර ආරුප්‍ය ද සියල්ලන්ට අනුකුල වේ. කසිණයන්හි දු පරිත්ත කසිණය විතර්‍ක චරිතයාට ද අප්‍ර‍මාණ කසිණය මොහචරිතයාට ද අනුකුල වන්නේ ය.

 

මේ චරියානුකුල වශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.

 

රාගචරිතාදීන්ට අශුභාදි වශයෙන් ද ශ්‍ර‍ද්ධාචරිතාදීන්ට බුද්ධානුස්සති ආදි වශයෙන් ද, යට දැක්වුණු මේ සියල්ල ඉඳුරා ප්‍ර‍තිපක්‍ෂ වශයෙන් හා අතිසප්පාය වශයෙන් කියන ලදැ යි දත යුතු. හුදෙක් රාගාදීන් ඔබ නො ලන ශ්‍ර‍ද්ධාදීන්ට හෝ උපකාර නො වන, කුශල භාවනාවෙක් නැත.

 

වදාළේ මැයි:- මෙඝිය සූත්‍රයෙහි, “චත්තාරො ධම්මා උත්තරිං භාවෙතබ්බා ව්‍යාපාදස්ස පහාණාය, ආනාපාණසති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය, අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමාන සමුග්ඝාතාය”[182] ශීලසම්පත්, කල්‍යාණමිත්‍ර‍ත්‍ව, සප්පාය ධර්‍ම ශ්‍ර‍වණ වීර්‍ය්‍ය ප්‍ර‍ඥා යන මේ පඤ්චධර්‍මයෙහි පිහිටීමෙන් මත්තෙහි ධර්‍ම වැඩිය යුතු. රනම් රාගප්‍ර‍හාණය පිණිස අශුභ වැඩිය යුතු ව්‍යාපාදප්‍ර‍හාණය පිණිස මෛත්‍රි වැඩිය යුතු. විතර්‍ක සිඳලීම පිණිස ආනාපානසති වැඩිය යුතු. අස්මිමාන විනාශය පිණිස අනිත්‍යසංඥා වැඩිය යුතු. යනු එහි භාවය යි. මෙසේ එකකුට සතර චරිතයක් නැත ද සතර කමටහන් සියලු කෙලෙස් විෂ්කම්භනය කරන්නේය යි ද, සියලු කුසල් වඩන්නේය යි ද දත යුතු.

 

තව ද “මෙත්තං රාහුල භාවනං භාවෙහි[183] යනාදීන් රාහුල සූත්‍රයෙහි දු එක ම තෙරුන්ට සතර බ්‍ර‍හ්මවිහාර, අශුභ, කායගතාසති, ආනාපාණසති යන කමටහන් සතක් වදාළ බැවින් අසවල් කමටහන අසවලාට සප්පාය වේය යි දැක්වූ වචන මාත්‍රයෙහි ම නො පිහිටා සියලු තැන අභිප්‍රාය සෙවිය යුතු යි. එය යට දැක්විණි.

 

“කර්මස්ථානයන් ගෙනැ” යන මෙහි කර්‍මස්ථාන කථා විනිශ්චය යි.

 

“කර්මස්ථානයන් ගෙනැ” යන මෙහි “ගෙනැ” යන පදය පිළිබඳ අර්‍ථප්‍ර‍කාශය මෙසේ දත යුතු යි. යට දැක්වුණු පරිදි යෝගාවචරයා විසින් කමටහන් දෙන කල්‍යාණමිත්‍ර‍යකු කරා එළඹැ භගවත් බුදුන්වහන්සේ වෙත හෝ ආචාර්‍ය්‍යවරයාණන් වෙත ආත්මය පාවා දී පුර්‍ණාධ්‍යාශයයෙන් හා ඵූර්‍ණාධිමුක්තියෙන් යුක්ත වැ කමටහන් ඉල්විය යුතුයි. “ඉමාහං භගවා අත්තභාවං තුම්හාකං පරිච්චජාමි” “භාග්‍යවතුන් වහන්ස! මම ඔබ වහන්සේ වෙත මගේ ආත්මය පාවා දෙමි” යි කියා බුදුරජාණන් වහන්සේට ආත්මය පාවාදිය යුතු. එසේ පාවානොදී ගැඹුල් වල් සෙනස්නෙහි වසන කල බිහිසුණු අරමුණු එළඹියහොත් ස්ථිර වැ සිට ගන්නට නොහැකි වේ. එයින් හෙතෙමේ ග්‍රාමාන්තයට බැසැ පියා ගිහියන් හා හැණි අනේසනයන්ට ද පැමිණැ මහා විනාශයට පැමිණෙන්නේ ය. ආත්මභාවය පාවා දුනහොත් එබඳු බිහිසුණු අරමුණු එළඹැ සිටියත්, බිය නොවන්නේ ය. “පණ්ඩිතය තොප විසින් තොපගේ ආත්මය පළමුකොට ම බුදුරජාණන් වහන්සේට පාවා දෙන ලද්දේ නොවේ දැ”යි සැලකෙන විට සොම්නස්ව උපදින්නේ ය. උතුම් කසීසළුවක් ඇතියෙක් එය මීයන් හෝ පණුවන් හෝ කෑ කල දොම්නස් වන්නේ නමුදු එය අචීවරික භික්‍ෂූන් වහන්සේ නමකට දී උන්වහන්සේ එය කඩ කඩ කොට ඉරන කල්හි සොම්නස් ම වන්නේ ය. මේත් එබඳු යයි දතයුතු.

 

ආචාර්‍ය්‍යයන්ට පාවා දෙතොත් “ඉමාහං භන්තෙ අත්තභාවං තුම්හාකං පරිච්චජාමි” “ස්වාමීනි මම මගේ ආත්මභාවය ඔබවහන්සේට පරිත්‍යාග කරමි”යි කියා පාවාදිය යුතු. එසේ පාවා නුදුන හොත් හෙතෙම ආචාර්‍ය්‍යයන් විසින් තර්‍ජනය කටයුත්තෙක් නොවේ. දුර්‍වච වේ. අවවාදක්‍ෂම නොවේ. ආචාර්‍ය්‍යයන් නො විචාරාම කැමති අතෙක යන්නෙක් වේ. එවිට එබන්දහුට ආචාර්‍ය්‍යවරයෝ ආමිසයෙන් හෝ ධර්‍මයෙන් සංග්‍ර‍හ නො කෙරෙති. ගැඹුරු ග්‍ර‍න්‍ථ නො උගන්වති. එවිට හෙතෙමේ එකී දෙවැදෑරුම් සංග්‍ර‍හ නො ලබන්නේ ශාසනයෙහි පිහිට නො ලබා නොබෝ කලකින්ම දුශ්ශීල බවට හෝ ගෘහස්ථ බවට පැමිණේ. ආත්මභාවය පාවා දුනහොත් තර්‍ජනීය නො කළයුත්තෙක් නොවේ. හිතු අත යන්නේ නො වේ. සුවච ව ආචාර්‍ය්‍යයන් අයත් පැවතුම් ඇත්තෙක් වේ. එයින් හෙතෙමේ ආචාර්‍ය්‍යයන්ගෙන් විවිධ වූ ම සංග්‍ර‍හ ලබමින් චූලපිණ්ඩපාතික තිස්ස තෙරුන්ගේ අතවැසියන් මෙන් ශාසනයෙහි අභිවෘද්ධියට පැමිණෙයි.

 

චූලපිණ්ඩපාතික තිස්ස තෙරුන්ගේ අතවැසියෝ

 

උන්වහන්සේ කරා කර්‍මස්ථාන ගන්නා පිණිස ශිෂ්‍යවරයෝ තුන්දෙනෙක් එළඹියාහු ය. එක නමෙක් “ස්වාමීනි! නුඹවහන්සේගේ ප්‍රයෝජනයකට ය යි වදාළහොත් ‘මම සියක් පුරුෂ ප්‍ර‍මාණ ප්‍ර‍පාතයකට පණින්නට පසුබට නොවෙමි”යි කීයේය. එක නමෙක් “ස්වාමීනි මම නුඹවහන්සේගේ ප්‍රයෝජනයකටය යි වදාළහොත්, විලුඹෙහි පටන් ගලක් පිට උලා මුළු සිරුර ගෙවා දමන්නට පසුබට නොවෙමි”යි කීයේය. තුන්වැන්නා කියන්නේ “ස්වාමීනි මම ස්වාමීන්වහන්සේගේ ප්‍රයොජනයකටය යි වදාළත්, හුස්ම හිරකොටැ ගෙන මැරෙන්නට  පසුබට නො වෙමි”යි කී යේය. තෙරුන්වහන්සේ “ඒකාන්තයෙන් මොහු භව්‍යයෝ ය”යි ඔවුනට කර්‍මස්ථාන වදාළසේක. ඒ තුන් නම උන්වහන්සේගේ අවවාදයෙහි පිහිටා රහත් බවට පැමිණියාහු ය. ආත්මභාවය පාවා දීමෙහි ආනිසංස මේ ය. ‘භගවත් බුදුන්වහන්සේට හෝ ආචාර්‍ය්‍යවරයනට ආත්මය පාව ද” යනු එහෙයින් කියනන ලදී.

 

“පූර්‍ණාධ්‍යාශයයෙන් - පූර්ණාධිමුක්තියෙන් යුක්ත වැ”යි කීයේ ඒ යෝගීහු විසින් අලෝභාදි වශයෙන් පූර්‍ණධ්‍යාශයයෙන් යුක්ත විය යුතු බවයි. පූර්ණාධ්‍යාශයයෙන් යුක්ත වූයේ ම තුන් බෝධීන් අතුරෙන් එක්තරා බෝධියකට පැමිණෙන්නේ ය.

 

වදාළේ මැයි:-

 

“ජ අජ්ඣාසයා බොධිසත්තා බොධි පරිපාකාය සංවත්තන්ති. අලොහජ්ඣාසයාච බොධිසත්තා ලොභො දෝස දස්සවිනො. අදොසජ්ඣාසයා ච බොධිසත්තා දොසෙ දොස දස්සාවිනො. අමොහජ්ඣාසයා ච බොධිසත්තා මොහෙ දොස දස්සාවිනො. නෙක්ඛම්මජ්ඣාසයා ච බොධිසත්තා ඝරාවාසෙ දොසදස්සාවිනො. පවිවෙකජ්ඣාසයා ච බොධිසත්තා ගණ සඞ්ගණිකාය දෝස දස්සාවිනො. නිස්සරණජ්ඣාසයා ච බොධිසත්තා සබ්බභවගතීසු දොස දස්සාවිනො”[184] අදහස් සයක් ඇති බෝධිසත්වරයෝ බෝධිඥානය මුහුකරනු පිණිස පවත්නාහ. ලෝභයෙහි දොස දක්නා බෝසත්වරයෝ අලෝභාධ්‍යාශය ඇත්තෝ වෙති. (හැම තැන ම හැම දවස්හි ම කෙසේ නම් නිර්‍ලෝභ වමෝදැ යි සිතා ආදියෙහි ද, මධ්‍යයෙහි ද, අවසානයෙහි ද අලොභ අදහස් ඇත්තෝ වෙති යි කීසේ යි. සෙස්සෙහි දු මෙසේ යි) ද්වේෂයෙහි දෝෂ දක්නා බෝසත්වරයෝ ද්වේෂාධ්‍යාශය ඇත්තෝ වෙති. මොහයෙහි දෝෂ දක්නා බෝසත්වරයෝ අමෝහාධ්‍යාශය ඇත්තෝ වෙති. ගෘහවාසයෙහි දෝෂ දක්නා බෝසත්වරයෝ නෛෂ්ක්‍ර‍ම්‍යාධ්‍යාශය ඇත්තෝ වෙති. (නෛෂක්‍ර‍ම්‍ය නම් පැවිදිවීමයි) ගණසඞ්ගගණිකායෙහි දෝෂ දක්නා බෝසත්වරයෝ (කෙසේ නම් විවේක වන්නමෝ දැ යි) ප්‍ර‍විවෙකා ධ්‍යාශය ඇත්තෝ වෙති. සියලු භව ගතීන්හි දෝෂ දක්නා බෝසත්වරයෝ (නිවන් නම් කෙසේ දැ යි) නිශ්ශරණාධ්‍යාශය ඇත්තෝ වෙත්” යනු එහි භාවයි. අතීත හෝ අනාගත හෝ වර්‍තමාන හෝ යම් පමණ සෝවාන් - සකෘදාගාමි - අනාගාමි - අර්‍හත් - පසේබුදු-සම්මාසම්බුදුවරයෝ වූවාහු නම් ඒ සියල්ලෝම මේ සයාකාරයෙන් තම තමන් විසින් පැමිණිය යුතු විශේෂයට පැමිණියාහු යි. එබැවින් යට දැක්වුණු සයාකාරයෙන් පූර්‍ණාධ්‍යාශය සම්පන්න විය යුතු.

 

එහි ම “පූර්‍ණාධිමුක්තියෙන් යුක්ත වැ” යයි කී බැවින් අධිමුක්ති සම්පන්න ද විය යුතු යි. (යමක් පිණිස භාවනානුයෝගය කෙරේ ද, යමක් පිණිස ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව වේද, එහි ම අධිමුක්ති ඇත්තහු විය යුතු”යි කී සේ යි) සමාධ්‍යාධිමුක්ත - සමාධි ගුරුක - සමාධිප්‍ර‍ග්භාර - නිර්‍වාණාධිමුක්ත - නිර්‍වාණගුරුක - නිර්‍වාණප්‍රාග්භාර විය යුතුය යන අර්‍ථයි. (ප්‍රාග්භාර නම් නැමීම යි.)

 

පර සිත් දන්නා නුවණ ඇති ආචාර්‍ය්‍යවරයන් විසින් යට දැක්වුණු පරිදි අධ්‍යාශයයෙන් හා අධිමුක්තියෙන් යුක්ත වූ කමටහන් ඉල්වන අතවැස්සාගේ චිත්තාචාරය ඒ නුවණින් පිරිසිඳැ බලා මේ කවර චරිත ඇත්තෙක් දැයි දැනැ ගත යුතු යි.

 

පර සිත් දන්නා නුවණ නැති ආචාර්‍ය්‍යවරයන් විසින් “ඔබ කවර චරිත ඇත්තෙක් දැ”යි විචාරා “නොදනිමි”යි කිවහොත් “ඔබ කෙරෙහි කවර ධර්‍ම බහුල වැ පවතී ද අශුභාදීන් අතුරෙන් කවරක් මෙනෙහි කරන විට ඔබට පහසු දැනේ ද කෙබඳු කමටහනකට ඔබ ගේ සිත නැමේ ද” යනාදි වශයෙන් විචාරා දත යුතු යි. එසේ දැනැ ගෙනැ චරිතයට සුදුසු කමටහන් කිය යුතුයි.

 

කියන්නහු විසිනුදු තුන් ආකාරයකින් කිය යුතු. සජ්ඣායනා වශයෙන් හෝ මෙනෙහි කිරීම් වශයෙන් හෝ කමටහන් පුරුදු කළහුට හිඳීම් එකක් දෙකක් සජ්ඣායනා කරවා දිය යුතු. ළඟ වසන්නහුට පැමිණි - පැමිණි ඇසිල්ලෙහි කිය යුතු. කමටහන ඉගෙනැ අන් තැනකට යනු කැමැත්තහුට ඉතා සංක්‍ෂේප ද නො කොටැ ඉතා විස්තර ද නො කොටැ කිය යුතු.

 

එහි දු පඨවිකසිණය කියන්නහු විසින් කසිණ දෝෂ සතර ද, කසිණ කරන සැටි ද, කරගත් කසිණය භාවනා කරන සැටි ද, දෙ වැදෑරුම් නිමිති ද, දෙවැදෑරුම් සමාධි ද, සත් වැදෑරුම් සප්පාය හා අසප්පායද, දශවිධ අර්පණා කෞෂල්‍යයද, වීර්‍ය්‍යසමත්‍වය ද, අර්පණාවිධානය ද යන මේ නව ආකාර කිය යුතු. සෙසු කමටහන්හි දු සුදුසු පරිදි කිය යුතු. ඒ සියල්ල ඒ ඒ කමටහන් පිළිබඳ භාවනා විධානයෙහි දක්වනු ලැබේ.

 

ආචාර්‍ය්‍යයන් එසේ කමටහන් දෙන කල්හි යෝගාවචරයා නිමිත්තග්‍ර‍හණය කොටැ ඇසිය යුතු. නිමිත්තග්‍ර‍හණය නම් මේ යට පදය, මේ මතු පදය, මේ මෙහි අර්‍ථය, මේ අදහස මේ උපමාවය යි ඒ ඒ අකාර සිත්හි ධරා ගැන්මයි. එසේ නිමිත්ත ග්‍ර‍හණය කොටැ සකසා අසන්නේ මැ කමටහන් ගන්නේ නම් වේ. එයින් ඔහුට විශෙෂාධිගමය වන්නේ ය. එසේ නො ගන්නහුට විශෙෂාධිගමය නො වන්නේ ය.

 

මේ කමටහන් “ගෙනැ” යන මෙහි අර්ථ ප්‍ර‍කාශය යි.

 

මෙතෙකින් ‘කල්‍යාණමිත්‍ර‍යකු කරා එළඹැ ස්වකීය චරිතානුකුල වූ සතලිස් කර්‍මස්ථාන අතුරෙන් එක්තරා කර්‍මස්ථානයක් ගෙනැ” යන මේ පද සර්‍වාකාරයෙන් විස්තර කරන ලද්දේ ය.

 

කර්‍මස්ථාන ග්‍ර‍හණ

නිර්‍දෙශ නම් තෘතීය පරිච්ඡෙදය යි.

 

 

 

 

 

 

 

 

 

 

 

4 වන පරිච්ඡේදය

පඨවි කසිණ නිර්දේශය

 

නමො භගවතො සම්බුද්ධස්ස

 

“සමාධි භාවනාවට නුසුදුසු විහාර හැරැ පියා සුදුසු විහාරයෙක වසමින්” යනු මෙතැන් පටන් විස්තර කරනු ලැබේ. යම් කෙනෙකුන්ට ආචාර්‍ය්‍යයන් හා සමග එක විහාරයෙහි විසීම පහසු වන්නේ නම් එබන්දන් විසින් කර්‍මස්ථානය පිරිසිදු කර ගනිමින් එසේ විසිය යුතු ආචාර්‍ය්‍යයන් වෙත එක් වැ විසීමට අපහසු ඇත්තන් විසින් ගව්වක් හෝ අඩයොදුනක් හෝ යොදුනක් හෝ දුරින් පිහිටි සප්පාය විහාරයෙක් වේ නම් එහි විසිය යුතු. එබඳු තැනෙක වසන්නවුන්ට කර්‍මස්ථානය පිළිබඳ කිසිතැනෙක සැකයෙක් හෝ විස්මරණයෙක් හෝ විණි නම් උදෑසන ම විහාරයෙහි වත පිළිවෙත කොටැ අතරමගදී පිණ්ඩපාත කැරැ ගෙනැ වළඳා වැළඳූ ඉක්බිති ම ආචාර්‍ය්‍යයන් වසන තැනට ගොස් එ දවස ම ඔවුන්ගෙන් කර්‍මස්ථානය ශුද්ධකොටැ ගෙනැ පසුදා ඔවුන් වැඳැ නික්ම පෙරසේ අතර මග පිණ්ඩපාත කොටැ වළඳා විඩා නැතිවැ ම ස්වකිය වාසස්ථානයට පැමිණිය හැකි බැවිනි. යොදුනක් පමණ වත් ආසන්නයෙහි එබඳු සප්පාය විහාරයක් නොලබන්නවුන් විසින් කර්‍මස්ථානය පිළිබඳ සියලු ග්‍ර‍න්ථීස්ථාන විසඳා ආවර්‍ජන ප්‍ර‍තිබද්ධ කොටැ ගෙනැ දුරකට හෝ ගොස් සමාධිභාවනාවට නුසුදුසු විහාර හැරැ සුදුසු විහාරයෙක විසිය යුතු. නුසුදුසු විහාර නම් පහත දැක්වෙන අටලොස් දෝෂ අතුරෙන් එක දෝෂයකින් හෝ යුක්ත විහාර යි.

 

ඒ අටලොස් දෝෂ නම් :

 

1.  මහා විහාර වන බව,

2.  අභිනව විහාර වන බව,

3.  දිරාපත් විහාර වන බව,

4.  මහා මාර්‍ගසන්ත විහාර වන බව,

5.  පැන්කෙමි ඇති විහාර වන බව,

6.  පලා කොළ විහාර වන බව,

7.  මල් ඇති විහාර වන බව,

8.  ඵල ඇති විහාර වන බව,

9.  බොහෝ දෙන පතනු ලබන විහාර වන බව,

10.     නගරාශ්‍රිත විහාර වන බව,

11.     දැව ඇති විහාර වන බව,

12.     ක්‍ෂේත්‍ර‍ සීමා ඇසුරු කළ විහාර වන බව,

13.     විසභාග පුද්ගලයන් ඇති විහාර වන බව,

14.     සමුද්‍ර‍තීර ඇසුරු කළ විහාර වන බව,

15.     ප්‍ර‍ත්‍යන්ත ඇසුරු කළ විහාර වන බව,

16.     රාජ්‍ය සීමා ඇසුරු කළ බව,

17.     සප්පාය නැති බව,

18.     කල්‍යාණ මිත්‍ර‍යන් නැති බව යන මේයි.

 

මේ අටලොස් දෝෂ අතුරෙන් එක දෝෂයකින් හෝ යුක්ත විහාර නුසුදුසු විහාරයි. එබඳු තැනෙක නොවිසිය යුතු.

 

1.  මහා විහාරයෙහි දෝෂ

 

මහා විහාරයෙහි නොයෙක් අදහස් ඇති බොහෝ භික්‍ෂූහු රැස් වෙති. ඔව්හු අන්‍යොන්‍යයන් හා විරුද්ධ වීමෙන් වත පිළිවෙත නො කරති. බෝමළු ආදිය නො හමදිති. බොන පැන් පරිභොග පැන් පෙරහා නො තබති. මේ යෝගී භික්‍ෂු ගොදුරු ගම පිඬු පිණිස යන්නට පා සිවුරු ගෙනැ, නික්මෙත් ම නො කළ වතක් හෝ පැන් නැති හිස් කළයක් හෝ දුටු නම් ඒ වත කළ යුතු වේ. පැන් පෙරහා තැබිය යුතු වේ. එසේ නො කළ හොත් වත්ත භේදයෙහි දුකුළා වන්නේ ය. එසේ කරන්නට පටන් ගත් කල දහවල් වන්නේ ය. දහවල් වැ, පිඬු පිණිස ගිය කලක කිසිවක් නො ලබන්නේ ය. එතෙක් ද, හේ විවේක ගත වූයේ ද, හෙරණුන්ගේ හා දහර භික්‍ෂූන්ගේ හඬ තැලුමෙන් හා සංඝකර්‍මයෙන් වික්‍ෂිප්ත වන්නේ ය. යම් තැනෙක සියලු වත පිළිවෙත කැරුණේ නම් සෙසු ගැහැට ද නො වන්නේ නම් එබදු මහා විහාරයෙහි වුවද විසිය යුතු.

 

2.  අභිනව විහාරයෙහි දෝෂ

 

අභිනව විහාරයෙහි නවකර්‍ම බොහෝ ය. ඒ නො කරන්න වුන්ට සෙස්සෝ කිපෙති. දොස් නගති. “නුඹවහන්සේ සුව සේ මහණුවමෙහි යෙදෙන්න. අපි නවහම් කරම්හ”යි යම් තැනෙක භික්‍ෂූහු කියත් නම් එබඳු අභිනව විහාරයෙහි වුවද විසිය යුතු.

 

3.  දිරාපත් විහාරයෙහි දෝෂ

 

ජරපත් විහාරයෙහි හැරවියයුතු කටු කොහොල් බොහෝ ය. යටත් පිරිසෙයින් තමන් වසන සෙනසුන පවා එ බන්ද නොකර වන කලට සෙස්සෝ කිපෙති. දොස් නගති. ඒ කරවන්නට ගත් කල කමටහන පිරිහී යන්නේ ය.

 

4.  මහා මාර්‍ගාසන්ත විහාරයෙහි දෝෂ

 

මාවත් අසල විහාරයන්ට ආගන්තුක භික්‍ෂූහු රෑ දාවල් රැස් වෙති. නො කල්හි ආවානට තමන්ගේ සෙනස්න දී රුක් මුලෙක හෝ ගල්පොත්තක හෝ විසිය යුතු වේ. පළමු දවසෙහි මෙන් දෙවන දවසෙහි ද විය හැකි බැවින් කර්‍මස්ථානයට අවකාස නො ලැබෙයි. එබඳු ආගන්තුක සම්බාධ නැති මහා මාර්‍ගාසන්න විහාරයෙහි වුව ද විය යුතු.

 

5.  පැන් කෙමි විහාරයෙහි දෝෂ

 

පැන් කෙමි නම් ගල් පොකුණු ය. එබඳු තැනට පැන් පිණිස මහ ජනයා රැස් වෙති. නුවර වැසි රාජකුලුපග තෙරවරුන්ගේ අතවැස්සෝ ද පඬු පෙවුම් ආදිය පිණිස එළඹෙති. ඔවුන් භාජන දර පඬුඔරු ආදිය කොතන දැයි විචාරන කල අසවල් අසවල් තැන යයි දැක්විය යුතු වේ. මුළු කාලය එ බන්දෙහි ව්‍යාපෘත වීමෙන් ගෙවී යන්නේ ය.

 

6.  පලාපත් විහාරයෙහි දෝෂ

 

පලා කොළ ඇති විහාරයෙහි යෝගී භික්‍ෂූන් කමටහන් ගෙනැ දිවා විහරණයෙහි යෙදී සිටිය ද පලා නෙලන වනිතාවෝ ඔවුන් සීපයෙහි ම ගී ගයමින් පලා නෙලන්නාහු විසභාග ශබ්ද ඝට්ටනයෙන් කර්‍මස්ථානයට අන්තරාය කරත්.

 

7.  මල් ඇති විහාරයෙහි දෝෂ

 

පිපී ගිය නානාවිධ මල් ගස් ඇති විහාරයෙහි ද පලා පත් විහාරයෙහි මෙන් ම උපද්‍ර‍ව වන්නේ ය.

 

8.  ඵල ඇති විහාරයෙහි දෝෂ

 

අඹ - දඹ - පනා ආදි නානාවිධ ඵලයන්ගෙන් යුක්ත වූ විහාරයෙහි වසන්නවුන්ගෙන් ඵල කැමැත්තෝ අවුත් ඵල ඉල්ලති. නුදුන් කල කිපෙති. බලාත්කාරයෙන් හෝ ඇරැගනිති. සවස් කාලයෙහි විහාර මැද සක්මන් කරන්නවුන් විසින් එ බන්දන් දැකැ “උපාසකවරුනි! කුමක් හෙයින් මෙසේ කරන්නහු දැ”යි විචාළ කල සිත් පුරා බැණ වදිති. එ තෙක් ද විහාරයෙන් නෙරනට ද උපක්‍ර‍ම යොදත්.

 

9.  ජනප්‍රාර්‍ථනීය විහාරයෙහි දෝෂ

 

පැතිය යුතු - ලෝකයා විසින් සම්භාවනා කරනු ලබන දක්‍ෂිණගිරි - හත්‍ථිකුච්ඡි ලෙණ, සෑගිරි, සිතුල්පව් වැනි විහාරවල වසන්නවුන් “රහත්වරුන් වහන්සේ”යි සිතා වැඳියටි මනුෂ්‍යයෝ නොයෙක් දිගින් රැස් වෙති. යෝගී භික්‍ෂූන්ට එය පහසු පිණිස නො වන්නේ ය. එබඳු තැන් සප්පාය ඇතියවුන් විසින් දහවල් අන් තැනෙක ගොස් රාත්‍රි එහි අවුත් විසිය යුතු.

 

10.     නගරාශ්‍රිත විහාරයෙහි දෝෂ

 

නගර සන්නිශ්‍රිත විහාරයෙහි විසභාග අරමුණු හමුවන්නේ ය. කුම්භදාසීහු කළින් ඇඟ ගටමින් යන්නාහ. අයින් වැ මඟ පවා නො දෙන්නාහ. අධිපති මිනිස්සු විහාරය මැද තිර ඇදැ ගෙන හිඳිත්.

 

11.     දැව ඇති විහාරයෙහි දෝෂ

 

දර හෝ දැව උපකරණයට නිසි රුක් හෝ ඇති විහාරයෙහි දර ගෙන යන මාගම්මු පලා මල් ගෙන යන යට කී ස්ත්‍රීන් මෙන් අපහසුකම් කරති. “විහාරයෙහි රුක් කපා ගෙන ගෙවල් කරම්හ”යි මිනිස්සු අවුත් රුක් කපති. සවස පටන් ගෙයින් නික්මැ වෙහෙර මැද සක්මන් කරන භික්‍ෂූන් එ බන්දන් දැකැ “උපාසකවරුනි! කුමක් කරව් දැ”යි විචාළ කල රිසි සේ බැනැ වදිති. විහාරයෙන් නෙරනට ද උපක්‍ර‍ම යොදත්.

 

12.     ක්‍ෂේත්‍රාශ්‍රිත විහාරයෙහි දෝෂ

 

විහාරය අවට කුඹුරු ඇති කල මිනිස්සු විහාර මැද ම කලවිට සාදා ගෙනැ ගොයම් පාගති. ඉදිරි පස ම වී වියලති. අන්‍ය වූ ද බොහෝ අපහසුකම් කරති. තව ද ඇතැම් විහාරයන්හි බොහෝ සංඝ භෝග ඇත්තේ ය. ඒ රක්නා ආරාමික කුල ද ඇත. ඔව්හු “අපගේ ගොයම් කෑහ”යි ආරාමිකයන්ගේ ගෙරි බැඳැ සිටුවති. වී කරල් මුදුන් කඩා ගෙන අවුත් “නුඹවහන්සේ ගේ ආරාමික කුලයනගේ වැඩවල සැටි බලන්නැ”යි සංඝයාට දක්වති. එයින් රාජරාජ මහාමාත්‍යයන්ගේ ගෙදොර වලට පවා යන්නට සිදු වේ. මෙ ද කුඹුරු ළඟ විහාරයන්හි විසීමේ වරදට ඇතුළ්ත යයි දත යුතු යි.

 

13.     විසභාගයන් ඇති විහාරයෙහි දෝෂ

 

විසභාගයන් ඇති විහාරයෙහි භික්‍ෂූහු තුමූ අන්‍යොන්‍ය වෛරී වැ කලහ කරති. “කලහ නො කරන්න. “ස්වාමීනි”යි වළකනු ලබන විට “මේ පංසුකූලිකයා ආ තැන් පටන් අපට මෙහි විසුමෙක් නැතැ”යි හඬ තලත්.

 

14.     සමුද්‍ර‍තීර ඇසුරු කළ විහාරයෙහි දෝෂ

 

මුහුදු පටන් හෝ ගොඩ පටුන් අසල පිහිටි විහාරයන් කරා නැව්වලින් ද ගැල්වලින් ද මනුෂ්‍යයෝ නිතර රැස්වෙති. ඔව්හු “අපට ඉන්නට අවකාශ දෙන්න. පැන් දෙන්න. ලුණු දෙන්නැ”යි ගැහැට කරත්.

 

15.     ප්‍ර‍ත්‍යන්තයෙහි මනුෂ්‍යයෝ බුද්ධාදි රත්නත්‍රයෙහි ප්‍ර‍සන්න නැත්තෝ ය.

 

16. රාජ්‍ය සීමාවෙහි පිහිටි විහාරයන්හි වසන්නවුන්ට රාජ භය පැමිණෙන්නේ ය. ඒ එසේ මැයි:- එක් පැත්තෙක රජ “මේ භික්‍ෂු මගේ වශයෙහි නො සිටින්නේය”යි පහර දෙයි. අනෙක් පැත්තේ රජ ද එසේ ම පහර දෙයි. දෙපැත්තම සතුටු කරන භික්‍ෂු කලෙක එක රජෙකුගේ විජිතයෙහි ද කලෙක අනෙක් රජුගේ විජිතයෙහි ද වසන්නේ ය. එවිට “මේ චරපුරුෂයෙකැ”යි අල්ලා අනය ව්‍යසනයට පමුණත්.

 

17. සප්පාය නැති බව විසභාග රූපාදි අරමුණු ලැබීම හෝ අමනුෂ්‍යාධිගෘහිත බව යි. එයට නිදර්‍ශනයෙක් මෙසේ ය. එක් තෙරුන් වහන්සේ කෙනෙක් අරණ්‍යයෙහි වසති. දවසෙක යක්ෂනියක් පන්සල් දොර සිටැ ගීයක් කිවුය. භික්‍ෂු පන්සලින් නික්ම දොරටුව ළඟට ආ ය. යක්ෂනී ඉක්බිති සක්මන් මලුවේ කෙළවරට ගොස් ගායනා කළාය. භික්‍ෂු එහි ගියේ ය. නැවත ඕ තොමෝ සියක් පුරුෂ ප්‍ර‍මාණ ප්‍ර‍පාතයෙක සිට ගායනා කරන්නට වූ ය. භික්‍ෂු ආපසු එන්නට හැරුණේ ය. යක්ෂනී වේගයෙන් දිවැ අවුත් උන්වහන්සේ අල්ලා ගෙනැ “වහන්සේ! මා විසින් කා දමන ලද්දේ නුඹවහන්සේ වැනි එක් කෙනකු දෙදෙනකු නොවෙති”යි කිවුය.

 

18. කල්‍යාණ මිත්‍ර‍යන් නැති බව නම් ආචාර්‍ය්‍යයන් හෝ ආචාර්‍ය්‍යසමයන් හෝ උපාධ්‍යායයන් හෝ උපාධ්‍යායසමයන් හෝ නො ලැබෙන බව යි. හෙද මහා දෝෂයෙක් මැයි.

 

මේ අටලොස් දෝෂ අතුරෙන් එකකින් හෝ යුක්ත විණි නම් ඒ නුසුදුසු විහාරයයි දතයුතු. මේ සඳහා අටුවායෙහි ආ ගාථා මෙසේ යි.

 

“මහාවාසං නවාවාසං - ජරාවාසං ච පන්‍ථනිං

සොණ්ඩිං පණ්ණං ච පුප්ඵං ච - ඵලං පත්‍ථිතමෙව ච

නගරං දාරුනා ඛෙත්තං - විසභාගෙන පට්ටනං,

පච්චන්ත සීමා සප්පායං - යත්‍ථ මිත්තො න ලබ්භති

අට්ඨාරසෙතානි ඨානානි - ඉති විඤ්ඤාය පණ්ඩිතො,

ආරකා පරිවජ්ජෙය්‍ය - මග්ගං පටිභයං යථා”

 

මහාවාස = මහා වෙහෙර; නවාවාස = නව වෙහෙර; ජරාවාස = ජරාවාස වෙහෙර; පන්‍ථනි = මහමං ඇසුරු කළ වෙහෙර; සොණ්ඩිං = පැන් කෙමි වෙහෙර; පණණා = පත්‍ර‍ ඇති වෙහෙර; පුප්ඵ = මල් ඇති වෙහෙර; ඵලං = ඵල ඇති වෙහෙර; පත්‍ථිමෙව = පැතිය යුතු වෙහෙර;

 

නගරං = නුවර ඇසුරු කළ වෙහෙර; දාරුනා = දර ඇති වෙහෙර හා සමග; ඛෙත්තං = කෙත් ඇසුරු කළ වෙහෙර; විසභාගෙන = විසභාගය ඇසුරු කළ වෙහෙර හා සමග; පට්ටන = පටුන් ගම් ඇසුරු කළ වෙහෙර; පච්චන්තං = ප්‍ර‍ත්‍යන්ත ඇසුරු කළ වෙහෙර; සීමා = රජ සිම් ඇසුරු කළ වෙහෙර; අසප්පායං = නො සැප වෙහෙර; යත්‍ථ = යම් වෙහෙරක; මිතේතා න ලබ්භති = කල්‍යාණ මිත්‍ර‍ නො ලැබේද; යන

 

එතානි අට්ඨාරසට්ඨානානි = මේ අටලොස් ස්ථානයන්; පණ්ඩිතො = නුවණැත්තේ; ඉති විඤ්ඤාය = මෙසේ දැනැ; පටිභයං මග්ගං යථා = භය ඇති මගක් මෙන්; ආරකා = දුරින් ම පරිවජේජය්‍ය = දුරුකරන්නේ යි යනු සන්න යි.

 

සුදුසු විහාර නම් නාතිදූර නාත්‍යාසන්නතාදි පඤ්චාඞ්ගයෙන් සමන්විත විහාර යි.

 

වදාළේ මැ යි:

 

“කථං ච භික්ඛවෙ සෙනාසනං පඤ්චඞ්ග සමන්නාගතං හොති? ඉධ භික්ඛවෙ සෙනාසනං නාතිදූරං හොති නාච්චාසන්නං ගමනාගමන සම්පන්තං දිවා අප්පකිණ්ණං රතතිං අප්පසද්දං අප්පනිග්ඝොසං අප්ප ඩංසමකසවාතාතපසිරිංසප සම්ඵස්සං හොති. තස්මිං ඛො පන සෙනාසනෙ විහරන්තස්ස අප්පකසිරෙනෙව උප්පජ්ජන්ති චීවරං පිණ්ඩපාත සෙනාසන ගිලාන පච්චය භෙසජ්ජ පරික්ඛරා. තස්මිං ඛො පන සෙනාසනෙ ථෙරා භික්ඛු විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තෙ කාලෙන කාලං උපසඞ්කමිත්‍වා පරිපුච්ඡති පරිපඤ්හති ඉදං භන්තෙ කථං ඉමස්ස කො අත්‍ථොති. තස්ස තෙ ආයස්මන්තො අවිවටං චෙව විවරන්ති අනුත්තානී කතං ච උත්තාතී කරොන්ති අනෙක විහිතෙසු ච කංඛාඨානීයෙසු ධම්මෙසු කංඛං පටිවිනොදෙන්නි. එවං ඛො භික්ඛවෙ සෙනාසනං පඤ්චඞ්ග සමන්නාගතං හොති”[185] යි.

 

“මහණෙනි! සේනාසනය කෙසේ පඤ්චඞ්ගයෙන් යුක්ත වන්නේ ද මහණෙනි යම් සේනාසනයෙක් ගමට ඉතා දුරත් නො වැ දුනු පන්සියකට වඩා ආසන්නත් නො වැ ගමනා ගමනයට පහසු වන්නේ ද; දහවල් ජනාකීර්‍ණ නො වැ රාත්‍රි නිශ්ශබ්ද වැ මහජන සන්නිපාතයෙන් වන ගිගුම් හඩ නැත්තේ වන්නේ ද, මැසි මදුරු අවු සුළං නයි පොළොං ආදීන්ගේ ස්පර්‍ශ නැත්තේ වන්නේ ද, එසේ ම එම සේනාසනයෙහි වසන්නවුන්ට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර නිරායාසයෙන් ලැබෙන්නේ ද, බහුශ්‍රැත වූ ආගතාගම ධර්‍මධර විනයධර මාතෘකාධර ස්ථවිර භික්‍ෂූහු ඒ වෙහෙර වෙසෙත් ද, ඔව්හු කලින් කළ එළඹ “ස්වාමින් වහන්ස මේ කෙසේ ද, මෙහි අර්‍ථ කෙසේ දැ”යි පුළුවුත්නා ලද්දේ (ප්‍රදෙශන්තර පාලි දර්‍ශනයෙන්) අවිවෘත වූ අර්‍ථය විවෘත කෙරෙද් ද, ගැඹුරු වූ අර්‍ථය ලිහිල් කරද්ද, අනේකවිධ ශඞ්කාස්ථානීය ධර්‍මයන්හි ශඞ්කා දුරු කෙරෙත් ද, මහණෙනි! මෙසේ සේනාසනය පඤ්චාඞ්ගයෙන් යුක්ත වන්නේ ය” යනු එහි සංක්‍ෂිප්ත භාවය යි.

 

“සමාධි භාවනාවට නුසුදුසු විහාර හැරැ පියා සුදුසු විහාරයෙක වසමින්”

යන්නෙහි විස්තර නිමියේ ය.

 

කුඩා පළිබෝධ ද සිඳැ” යනු කී හෙයින් යම් යම් කුඩා පලිබෝධ ඇත්නම් එ ද සිඳැලිය යුතු. කුඩා පළිබොධ සිඳිය යුතු මෙසේ ය:- දික් වැ වැඩුණු කෙස් නිය කැපිය යුතු. දිරා ගිය සිව්රෙහි දැඩිකම් හෝ ගෙත්තම් හෝ කළ යුතු. කිලිටු සිවුරු රඳා ගත යුතු. පාත්‍ර‍ය මල බැඳී ඇත්නම් පිස ගත යුතු. ඇඳ පුටු ආදිය සුද්ධ කළ යුතු යි. මේ “කුඩා පළිබොධ සිඳැ” යන්නෙහි විස්තරය යි.

 

“සියලු භාවනා විධි නොපිරිහෙලමින් භාවනා කළ යුතු” යනු කී හෙයින් පඨවි කසිණයෙහි පටන් සියලු කර්‍මස්ථාන පිළිබඳ විස්තර කථාව මෙසේ දත යුතු.

 

යට දැක්වුණු සේ කුඩා පළිබොධ සිඳැ ලූ භික්‍ෂු විසින් පිණ්ඩපාත කොටැ දන් වැළඳීමෙන් පසු භත්තසම්මදය ද දුරු කොටැ ගෙනැ විවේක ස්ථානයෙක සැප සේ හිඳැ අභිනවයෙන් කර ගන්නා ලද හෝ ප්‍ර‍කෘතියෙන් තුබුණු හෝ පෘථිවියෙක නිමිත්ත ග්‍ර‍හණය කළ යුතු. ඒ සඳහා පැරණි අටුවායෙහි මෙසේ දක්වා ඇත්තේ ය.

 

“පඨවි කසිණං උග්ගණහන්තො පඨවිං නිමිත්තං ගණ්හාති කතෙ වා අකතෙ වා සාන්තකෙ නො අනන්තකෙ, සකොටියෙ නො අකොටියෙ, සවටුමෙ නො අවටුමෙ, සපරියන්තෙ අපරියන්තෙ, සුප්පමත්තෙවා සරාවමන්තෙවා, සොතං නිමිත්තං සුග්ගහීතා කරොති සූපධාරිතං උපධාරෙති සුවවත්‍ථිතං වවත්‍ථ පෙති, සො තං නිමිත්තං, සුග්ගහිතං කත්‍වා සූපධාරිතා උපධාරෙත්‍වා සුවවත්‍ථිතං වවතථපෙත්‍වා ආනිසංසදස්සාවී රතනසඤ්ඤී හුත්‍වා චිත්තිකාරං උපට්ඨපෙත්වා සම්පියායමානො තස්මිං ආරම්මණෙ චිත්තං උපනිබන්‍ධති. අද්ධා ඉමාය පටිපත්තියා ජරාමරණම්හා මුඤ්චිස්සාමී’ති. සො විවිච්චෙව කාමෙහි - පෙ- පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති”යි.

 

“පඨවි කසිණය උගන්නා තැනැත්තේ මතු කියනු ලබන ආකාරයෙන් පිළියෙළ කරගන්නා ලද්දා වූ - හෝ එසේ පිළියෙළ කර නො ගත් බලමණ්ඩලාදි වශයෙන් ප්‍ර‍කෘතියෙන් පිහිටි හෝ අන්ත සහිත - කෙළවර සහිත - කුඩා වට්ටියක් හෝ මලාවක් පමණ වූ - පෘථිවි මණ්ඩලයෙහි නිමිත්ත ග්‍ර‍හණය කරන්නේ ය. හෙතෙමේ ඒ නිමිත්ත සුග්ගහීත සූපධාරිත සුවවත්‍ථිත කරන්නේ ය. එසේ සුග්ගහීත සූපධාරිත සුවවත්‍ථිත කොටැ එහි ආනිසංස දක්වමින් රත්න සංඥා ඇති වැ ගෞරව එළවා “ඒකාන්තයෙන් මේ ප්‍ර‍තිපත්තිය පුරා ජරා මරණයෙන් මිදී ගන්නෙමි’ යි සන්තෝෂයෙන් යුක්ත වැ එහි සිත බැඳැ ගන්නේ ය. එයින් ඒ යොගී වස්තු කාම ක්ලේශ කාමයෙන් වෙන් වැ - ප්‍ර‍ථම ධ්‍යානය ලැබැ ගෙනැ වසන්නේ ය” යනු එහි සංක්‍ෂිප්ත භාවය යි.

 

මෙ තැන් පටන් ඒ අටුවා පාඨයෙහි අර්‍ථ ප්‍ර‍කාශ කිරීම සමග භාවනා විධිය දක්වනු ලැබේ.

 

යම් කෙනෙකුන් විසින් යට ජන්මයෙහි දු බුද්ධ ශාසනයෙහි හෝ සෘෂි ප්‍ර‍ව්‍ර‍ජ්‍යාවෙන් හෝ පැවිදි පැ පඨවි කසිණයෙහි චතුෂ්ක - පඤ්චක ධ්‍යාන උපදවන ලද ද, එබඳු උපනිශ්‍ර‍ය සම්පන්න පින්වතුන්ට මල්ලක තෙරුන්ට මෙන් පිළියෙළ කර නො ගත් පෘථිවියෙහි - එ නම් සීසෑ තැන හේ කලවිටි මඬුල්ලෙහි හෝ නිමිත්ත උපදින්නේ ය.

 

ඒ එසේ මැයි:- මල්ලක තෙරුන් වහන්සේ සීසෑ තැන බලත් ම එ තරම්ම වූ පටිභාග නිමිත්ත උපන්නේ ය. උන්වහන්සේ එය වඩාලා පඤ්චක ධ්‍යාන උපදවා ධ්‍යාන පදස්ථාන කොටැ විදසුන් ද වඩා රහත් වූ සේක.

 

එසේ කෘතාධිකාර නැතියවුන් විසින් ආචාර්‍ය්‍යයන් වෙත උගත් කර්‍මස්ථාන විධි නො වරද්දා චතුර්විධ කසිණ දොස දුරු කොටැ කසිණ මණ්ඩලය සාධා ගත යුතු. චතුර්විධ කසිණ දොස නම් නීල-පීත-ලොහිත-අවදාත වර්‍ණ මිශ්‍ර‍ වීම යි. එ බැවින් නීලාදි වර්‍ණවත් මැටි නො ගෙනැ රාවණ ගඟ සැඩ පහරින් පහළ භිත්තියෙහි මැටි වැනි අරුණු වන් මැටියෙන් කසිණ මණ්ඩලය සාධා ගත යුතු. “කසිණ මණ්ඩලය සාධා ගනිමි”යි විහාර මැද සාමණේරාදීන් හැසිරෙන තැන නො වැ විහාර කෙළවර පිළිසන් තැනෙක-නැමී සිටි ගල් යටෙක හෝ පන්සැලෙක හෝ සංහාරිම කොටැ හෝ තත්‍ර‍ස්ථක කොටැ හෝ සාධා ගත යුතු. (සංහාරිම නම් කැමැති තැනෙක ගෙනැ යා හැකි සේ සාදා ගන්නා කසිණ මණ්ඩලය යි තත්‍ර‍ස්ථක නම් එහි මැ තිබෙන සේ සාදා ගන්නා කසිණ මණ්ඩලය යි.) සංහාරිම කසිණ මණ්ඩලය සාධාගන්නවුන් විසින් දඬු සතරෙක රෙදි කඩක් හෝ සමක් හෝ කළාල කඩක් හෝ බැඳැ එහි තණ මුල් කැට ගල් වැලි නැති සීනට ඇඹරූ මැට්ටෙන් එක් වියත් සතරඟුල් වන සේ වට කොටැ ලිම්පනය කැරැ ගත යුතු. එය නිමිත්ත ග්‍ර‍හණයෙන් භාවනා කරන කල්හි බිම තබා ගෙනැ බැලිය යුතු. තත්‍ර‍ස්ථක කසිණ මණ්ඩලය සාධාගන්නවුන් විසින් බිම පියුම් කෙමියක ආකාරයෙන් කණු ගසා වැලින් බැඳැ සාධා ගත යුතු. අරුණු වන් මැටි මඳ නම් යට වෙන මැට්ටක් දමා ලා උඩ පිරිසිදු කළ අරුණුවන් මැටියෙන් ම එක් වියත් සතරඟුල් වන සේ වට කොටැ සාධා ගත යුතු.

 

යට “කුඩා කුල්ලක් හෝ මලාවක් පමණ වූ” ය යි කීයේ මේ ප්‍ර‍මාණය සඳහා ය. ‘අන්ත සහිත - කෙළවර සහිත ය”යි කීයේ පරිච්ඡේදය සඳහා ය.

 

මෙසේ මේ දැක්වුණු ප්‍ර‍මාණ විසභාග වර්‍ණයකින් පරිච්ඡේද කරගත් කසිණ මණ්ඩලය “ගල්පෙණින් ගහා බෙර ඇසක් සේ සම කර ගත යුතු” ගල් පෙණින් ගහා සම කරගත යුතුය යි කීයේ දඬු පෙණින් ගහා සම කරන කල අරුණුවන් පැහැයට විසභාග වර්‍ණ උපදින බැවිනි. එසේ සම කොටැ ගෙනැ ඒ ස්ථානය ද හැමදැ පියා ජලස්නානය කොටැ ගෙනැ අවුත් කසිණ මණ්ඩලයෙන් දෙරියන් වියත් අතර ඇති තැන පණවා ගත් එක් වියත් සතරඟුල් පා ඇති මොළොක් ඇතිරි අතුළ පුටුවෙකැ හිඳැ ගත යුතු. කසිණ මණ්ඩලයෙන් දෙරියන් වියතකට වඩා දුර වැ උණ් කල කසිණය නො වැටෙන්නේ ය. එයට වඩා ළං වූ කල කසිණයෙහි දෝෂ පැනෙන්නේය. කී ප්‍ර‍මාණයෙන් උස් වූ පුටුවෙක අන් කල කර නමා නැඹුරු ව බැලිය යුතු වන්නේ ය. කී ප්‍ර‍මාණයෙන් පහත් පුටුවෙක උන් කල දෙ දන රිදෙන්නේ ය. එබැවින් එතෙක් ම දුර එතෙක් ම උස පුටුවෙහි හිඳැ “අප්පස්සාඳාකාමා” ‘කාමයෝ අල්පාස්වාදයෝ ය’ යනාදි නියායෙන් කාමයෙහි ආදීනව සලකා කාමනිස්සරණයෙහි සර්‍වදුඃඛසසමතික්‍ර‍මයට උපාය වූ නෛෂ්ක්‍ර‍ම්‍ය සංඛ්‍යාත ධ්‍යාන ප්‍ර‍තිලාභයෙහි අභිලාෂා ඇති වැ (‘සම්මාසම්බුද්ධො වත භගවා අවිපරීතධම්මදෙසනත්තා, ස්වාක්ඛාතො ධම්මො එකන්තනීය්‍යානිකත්තා’, සුපටිපන්නොසංඝො යථානුසිට්ඨං පටිපජ්ජනතො” යනාදීන්) බුද්ධ ධර්‍ම-සංඝ යන රත්නත්‍රයෙහි ගුණානුස්මරණයෙන් ප්‍රීති-ප්‍රමෝද්‍ය උපදවා “මේ වූ කලි සියලු බුදු-පසේ-බුදු සව්වන් පිළිපන් නෛෂ්ක්‍ර‍ම්‍ය ප්‍ර‍තිපදාව ය” යි ප්‍ර‍තිපදායෙහි ගෞරව ඇති වැ “ඒකාන්තයෙන් මම මේ ප්‍ර‍තිපත්තියේ පවිවෙක සුඛ රසයට භාගී වෙමි”යි ධෛර්‍ය්‍ය උපදවා සම ආකාරයෙන් ඇස් දල්වා බලා ගෙනැ නිමිත්ත ග්‍ර‍හණය කිරීමෙන් භාවනා කළ යුතු යි.

 

පමණට වඩා ඇස් දල්වා ලා බලන්නහුගේ ඇස් (ඉතා සියුම් රූපයක් හෝ ඉතා භාස්වර රූපයක් හෝ බලන විට මෙන්) වෙහෙසට පත් වන්නේ ය. කසිණ මණ්ඩලය ද ලක්‍ෂණ වශයෙන් හෝ වර්‍ණ වශයෙන් වැටහෙන්නෙන් අතිවිභූති වන්නේ ය. එයින් ඔහුට නිමිත්ත නූපදනේ ය. ඉතා මඳ වැ ඇස දල්වා බලන්නහුට කසිණ මණ්ඩලය විභූත නො වන්නේ ය. සිත ද කුසීත පක්‍ෂයෙහි වැටෙන්නේ ය. එයින් ද නිමිත්ත නූපදනේ ය. එහෙයින් උන්මීලනය ද, අතිනිමීලනය ද නො කොටැ කැටපත්හි මුහුණ බලන කල මෙන් සම වූ ආකාරයෙන් ඇස් දල්වා නිමිත්ත ග්‍ර‍හණය කරමින් භාවනා කළ යුතු. වර්‍ණය හෝ ලක්ෂණය හෝ නො සැළකිය යුතු. එසේ වුව ද බල බලා භාවනා කටයුතු බැවින් වර්‍ණය නො හැරැ වර්‍ණය තමහට අශ්‍ර‍ය වූ පෘථිවි ධාතුව හා සමාන ගතික කොටැ උත්සද වශයෙන් සසම්හාර පෘථිවියෙහි “පඨවි” යන මේ ලෝක ව්‍යවහාරයෙක් ඇත් ද ඒ ප්‍ර‍ඥප්ති ධර්‍මයෙහි සිත පිහිටුවා මෙනෙහි කටයුතු. පඨවි, සෙදිනී, මහී, භුමි, වසුධා, වසුන්‍ධරා යනාදි පෘථිවියට කියන නම් අතුරෙන් තමහට රිසි යෙන තමන් පූර්‍වයෙහි ගන්නා ලද සංඥා වශයෙන් අනුකුල වන-නම කිය යුතු. (මෙහි කිය යුතු ය යි කී හෙයින් ප්‍ර‍ථම සමන්නාහාරයෙහි කිසිවෙකු හට යාග්භෙද වන බව හේ විග්භෙද කළ යුතු බව හෝ කියන ලදැයි සැලකිය යුතු.) පෘථිවියට නොයෙක් නම් ඇත ද “පඨවි” යන නාමය ප්‍ර‍කට හෙයින් එ මැ කියමින් භාවනා කළ යුතු. විටෙක ඇස දල්වා ලා ද, විටෙක ඇස පියා ලා ද ආවර්‍ජනය කටයුතු උද්ග්‍ර‍හ නිමිත්ත නූපදින තාක් මෙසේ කාල සියයකු දු, කාල දහසකු දු, ඉන් අධික වැ ද භාවනා කළයුතු. මෙසේ භාවනා කරත් දෑස පියා ලා ආවර්‍ජනය කරන විට ද, ඇස දල්වා ලා ආවර්‍ජනය කරන විට මෙන් කසිණය ආපාත ගත වේ ද එවිට උද්ග්‍ර‍හ නිමිත්ත උපන්නේ නම් වන්නේ ය.

 

උද්ග්‍ර‍හ නිමිත්ත උපන් කල පටන් එ තැන නො හින්ද යුතු උද්ග්‍ර‍හ නිමිත්ත උපන්නාට පසු වැ ද කසිණ මණ්ඩලයම බල බලා භාවනා කළ හොත් ප්‍ර‍තිභාග නිමිත්ත නූපදී. එහි උන්නොත් ඒ දිසා නො බලා සිටින්නට ද නො හැකිය. එබැවින් එයලත් ඇසිල්ලෙහි එ තැනින් ඉවත් වැ තමන් වසන තැනට පැමිණැ එහි හිඳැ ගෙනැ භාවනා කළ යුතු පා දෙවුමෙන් වන ප්‍ර‍මාද දුරු කැරැ ගන්නා පිණිස එක පටේ වහන් සඟලක් ද, උපද්‍ර‍ව දුරු කැරැ ගන්නා පිණිස සැරයටියක් ද, පරිහරණය කළ යුතු කිසියම් අසප්පාය කාරණයකින් ඒ ලත් තරුණ සමාධිය (උග්ගහ නිමිත්ත) නැතිවැ ගියේ නම් වහන් නැඟී සැරයටිය ගෙන ඒ කසිණ මණ්ඩලය තුබුණු තැනට ගොස් නැවත උද්ග්‍ර‍හ නිමිත්ත උපදවා ගෙනැ ආ යුතුයි. එසේ අවුත් සැපසේ හිඳ ගෙනැ භාවනා කළ යුතු. නැවත නැවත ආවර්‍ජනා කළයුතු. තර්‍කාහත - විතර්‍කාහත කළයුතු. එසේ කරත් කරත් අනුක්‍ර‍මයෙන් ඔහුගේ නීවරණ විෂ්කම්භනය වන්නේ ය. කෙලෙස් සන්සිඳෙන්නේ ය. උපචාර සමාධියෙන් සිත සමාධි වන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්ත උපදනේ යි.

 

උද්ග්‍ර‍හ නිමිත්තයේ හා ප්‍ර‍තිභාග නිමිත්තයේ වෙනස

 

උද්ග්‍ර‍හ නිමිත්තයෙහි පෙණපහර ආදි කසිණ දොස පැණෙන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්ත වනාහි ථවිකයකින් මෑත් කොටැ ගත් ආදාස මණ්ඩලයක් මෙන් ද, මැනෙවින් පිරිසිදු කළ සඞ්ඛථාල ක් මෙන් ද, වලාගැබින් නික්මුණු චන්‍ද්‍ර‍ මණ්ඩලය මෙන් ද මේඝ මුඛයෙහි බලාකාවක් මෙන් ද, උද්ග්‍ර‍හ නිමිත්ත පලාගෙනැ නික්මුණාක් මෙන් එයට වඩා සිය දහස් ගුණයෙන් සුපරිශුද්‍ධ වැ වැටහෙන්නේ ය. ඒ ප්‍ර‍තිභාග නිමිත්ත වනාහි වර්‍ණ ඇත්තෙක් හෝ සණ්ඨාන ඇත්තෙක් හෝ නොවේ. එබන්දෙක් නම් එය ඇසින් දැක්ක හැකි විය යුතු. ඖදාරික විය යුතු. සම්මර්‍ශනයට යෝග්‍ය විය යුතු. අනිත්‍යාදි ලක්‍ෂණත්‍ර‍යෙන් අඞ්කිත විය යුතු. මෙය ඇසින් දැක්ක හැකි-ඖදාරික - සම්මර්‍ශනයෝග්‍ය - ලක්‍ෂණත්‍ර‍යෙන් අඞ්කිත වූවෙක් නො වේ. හුදෙක් සමාධි ලාභීන්ට වැටහෙන මාත්‍රයෙකි. භාවනා සංඥායෙන් හැඳිනෙන මාත්‍රයෙකි. ඒ උපන් කල පටන් ඔහුගේ නීවරණ විෂ්කම්භන වේ. ක්ලේශයෝ සන්සිඳෙති. උපචාර සමාධියෙන් සිත සමාහිත වූයේ වේ.

 

සමාධි වනාහි උපචාර සමාධි, අර්පණා සමාධි යයි ද්විවිධ වේ. ඒ එසේ මැ යි:- සිත උඵචාර භූමියෙහි දී ද, සමාහිත වන්නේය. ප්‍ර‍තිලාභ භූමියෙහි දී ද, සමාහිත වන්නේ ය. උපචාර භූමියෙහි දී සමාහිත වන්නේ නීවරණ ප්‍ර‍හාරණයෙනි. ප්‍ර‍තිලාභ භූමියෙහි දී අඞ්ග පාතුභාවයෙනි. ඒ විවිධ සමාධීන්ගේ වෙනස මෙසේ දතයුතු උපචාර සමාධියෙහි දී ධ්‍යානාඞ්ගයෝ ශක්තිසම්පන්න නො වෙති. ඔවුන් ශක්තිසම්පන්න නො වන බැවින් ළදරුවකු නගා සිට වූ කල නැවත නැවත බිම හෙන්නා සේ උපචාර ධ්‍යාන උපන් කල්හි සිත විටෙක නිමිත්ත අරමුණු කරන්නේ ය. විටෙක භවාඞ්ගයට බසින්නේ ය. අර්පණාධ්‍යානය උපන් කල්හි ධ්‍යානඞ්යෝ ශක්තිසම්පන්න වෙති. ඔවුන් ශක්තිසම්පන්න බැවින් බලවත් පුරුෂයකු හුනස්නෙන් නැඟී දවස මුළුල්ලේ සිටිය හැකි සේ අර්පණා සමාධි උපන් කල්හි සිත එක් වරක් භවාඞ්ග වාරය සිඳැ අහෝරාත්‍ර‍යක් එසේම සිටින්නේය. කුශල ජවන පිළිවෙළින් ම පවත්නේය.

 

ඒ විවිධ සමාධි අතුරේ උපචාර සමාධි සමග යම් ප්‍ර‍තිබාග නිමිත්තයෙක් උපදින්නේ නම් එය උපදවා ගැන්ම ඉතා දුෂ්කරය. එ බැවින් ඒ පයඞ්කයෙහි මැ හිඳැ ඉදින් නිමිත්ත වඩා අර්පණා ලැබැ ගන්නට පොහොස්ත නම් එසේ ලැබගත යුතු ය. ඉදින් අපොහොසත් නම් ඔහු විසින් ඒ නිමිත්ත චක්‍ර‍වර්‍තති ගර්‍භයක් මෙන් අප්‍ර‍මත්ත වැ රැක ගත යුතු යි.

 

“නිමිත්ත රක්ඛතො ලද්ධං - පරිහාණි න විජ්ජති

ආරක්ඛම්හි අසන්තම්හි - ලද්ධං ලද්ධං විනස්සති.”

 

‘නිමිත්ත රැකගන්නහුට ලත් උපචාර ධ්‍යානයාගේ පිරිහීමෙක් නො වන්නේ ය. ආරක්‍ෂා නැති කල්හි ලත් ලත් ධ්‍යාන විනාශ වන්නේ ය.’

 

ප්‍ර‍තිභාග නිමිත්ත රැකගත යුතු විධිය මෙසේ ය.

 

ප්‍ර‍තිභාග නිමිත්ත රැක ගනු කැමැත්තහු විසින් අසප්පායආවාස, අසප්පායගොදුරුගම, අසප්පායකථා, අසප්පායපුද්ගල, අසප්පායභෝජන, අසප්පායසෘතු, අසප්පායඉරියව් යන මේ සත දුරු කළ යුතු ය.

 

එසේ ම සප්පායආවාස, සප්පායගොදුරුගම, සප්පායකථා, සප්පායපුද්ගල, සප්පායභෝජන, සප්පායසෘතු, සප්පායඉරියව් යන මේ සත සේවනය කළ යුතු ය. එසේ සෙවුනා කවරකු හට වුව ද නොබෝ කලෙකින් ම අර්පණා වන්නේ ය.

 

“ආවාසො ගොචරො භස්සං-පුග්ගලො භොජනං උතු

ඉරියාපථොති සත්තෙ තෙ-අසප්පායෙ විවජ්ජයේ

සප්පායෙ සත්ත යෙවෙථ-එවං හි පටිපජ්ජතො

න චිරෙනෙව කාලෙන-හොති කස්සචි අප්පණා”

 

අසප්පාය ආවාස හා සප්පාය ආවාස

 

යම් ආවාසයෙක වසන්නහුට නූපන් නිමිත්ත නූපදින්නේ නම්, උපන් නිමිත්ත හෝ නැති වන්නේ නම්, නො එළඹි සිහිය නො එළඹෙන්නේ නම්, අසමාහිත සිත සමාහිත නො වන්නේ නම් එය අසප්පාය ආවාස ය. යම් ආවාසයෙක වසන්නහුට නාග පර්‍වත වාසී පධානියතිස්ස තෙරුන්ට මෙන් නිමිත්ත උපදී නම්, උපන් නිමිත්ත ස්ථිර වේ නම්, සිහිය එළඹ සිටී නම්, සිත සමාධිමත් වේ නම් එය සප්පාය ආවාස යි. එ බැවින් යම් විහාරස්ථානයක බොහෝ ආවාස ඇත් නම් ඒ විහාරස්ථානයෙහි එක් එක් ආවාසයෙක තුන් තුන් දවස වැසැ සිත් එකඟ වූ ආවාසයෙහි විසුම් ගත යුතුයි.

 

ආවාස සප්පාය ලැබීමෙන් ලක්දිව සුළුන්නා ලෙන කමටහන් ගෙනැ විසූ පන්සියයක් භික්‍ෂූහු අර්‍හත්ත්‍වයට පැමිණියෝ ය. එහි දී සෝවාන් වූ ද, ස්ථානන්තරයන්හි ආර්‍ය්‍ය භූමියට පැමිණැ එහි දි රහත් වූ ද, භික්‍ෂූන් ගණනක් නැත. එහි මතුද සිතුල්පව් වෙහෙර ආදි අන්‍ය ස්ථානයන් ද මෙසේ රහත් වූ වන්ගේ ගණන් නැත.

 

අසප්පාය ගොදුරු ගම් හා සප්පාය ගොදුරු ගම්.

 

සේනාසනයෙන් උතුරු දිග හෝ දකුණු දිග ඉතා නුදුරු තන්හි - යෙළ කෝෂයක් අතර පිහිටි සුලභ භික්‍ෂා සම්පන්න ගොදුරු ගම සප්පාය වන්නේ ය. එසේ නො වූයේ අසප්පාය වන්නේ ය. (උතුරු දිග හෝ දකුණු දිග පිහිටිය යුත්තේ ගමනාගමනයෙහි හිර මුහුණ නො කරන සඳහා ය. යෙළ කොෂ යෙක් නම් දුනු තුන් දහසෙකි.)

 

අසප්පාය කථා හා සප්පාය කථා

 

දෙතිස් තිරශ්චීන කථාවන්ට ඇතුලත් කථා අසප්පාය ය. එ බඳු කථා වනාහි ලද නිමිත්ත ද අතුරුදහන් වීමට හේතු වන්නේ ය. සප්පාය වන්නේ දශ කථාවස්තු නිඃශ්‍රිත කථා ය. හෙද පමණට විය යුතු ය.

 

අසප්පාය පුද්ගල හා සප්පාය පුද්ගල.

 

යම් පුද්ගලයෙකු ඇසුරු කිරීමෙන් අසමාහිත සිත සමාහිත වේ නම් සමාහිත සිත ස්ථිර වේ නම් එ බඳු වූ තිරිසන් කථා නො කරන ශීලාදි ගුණ යුක්ත පුද්ගලයා සප්පාය වන්නේ ය. තිරිසන් කථා කරන කායදඩ්ඪියා සප්පාය නො වන්නේ ය. (කායදඩ්ඪියා නම් ශරීර සන්තර්පණයෙහි හා පෝෂණයෙහි යෙදුණේයි) එ බන්දා වනාහි පහන් දිය කිලිටි කරන මඩ දිය මෙන් ඔහු කිලිටි කරන්නේ ය. එබන්දහු කරා පැමිණීමෙන් කෝටි පර්‍වතවාසි දහර භික්‍ෂුහට මෙන් ලත් සමාපත්තිය පවා නැති වන්නේ ය. නිමිත්ත නැති වන්නේ යනු කියනුම කවරේ ද

 

අසප්පාය භෝජන සෘතු හා සප්පාය භෝජන සෘතු.

 

භෝජන වනාහි, කිසිවකුහට මධුර රස සප්පාය වන්නේ ය. කිසිවකුහට ඇඹුල් රස සප්පාය වන්නේ ය. එ සේම සෘතුවද කිසිවකුහට ශීත ද කිසිවකුහට උෂ්ණ ද සප්පාය වන්නේ ය. එ බැවින් යම් භෝජනයක් හෝ සෘතුවක් සෙවුනහට අසමාහිත සිත සමාහිත වේ නම් සමාහිත සිත ස්ථිර වේ නම් ඒ භෝජන සෘතු සප්පායය යි ද, එයින් අන්‍ය වූයේ අසප්පායය යි ද දත යුතු යි.

 

අසප්පාය ඉරියව් හා සප්පාය ඉරියව්

 

කිසිවකුහට සක්මන් ද, කිසිවකුහට නිදීම් - සිටීම් - හිඳීම් අතුරෙන් කිසිවක් ද සප්පාය වන්නේ ය. එ හෙයින් ආවාසය මෙන් එද තුන් තුන් දවස පරීක්‍ෂා කොටැ යම් ඉරියව්වෙක අසමාහිත සිත සමාහිත වේ නම් සමාහිත සිත ස්ථිරතර වේ නම් ඒ ඉරියව්ව සප්පාය ය යි ද එයින් අන්‍ය වූයේ අසප්පාය යි ද දත යුතු යි.

 

මේ සප්තවිධ අසප්පාය දුරු කොටැ සප්තවිධ සප්පාය සෙවිය යුතු ය. එසේ සප්පාය සොයන, නිමිත්තාසේවන බහුලයාහට නොබෝ කලෙකින් ම අර්පණා වන්නේ ය.

 

මෙසේ සෙවුනා කල්හි දු යමකුහට අර්පණා නො ලැබෙන්නේ නම් ඔහු විසින් දශවිධ අර්පණා කෞශල්‍යය සම්පාදනය කටයුතු දශවිධ අර්පණා කෞශල්‍යය නම් :

 

1.  වස්තු විශද ක්‍රියාව

2.  ඉන්‍ද්‍රිය සමත්‍ව ප්‍ර‍තිපාදනය

3.  නිමිත්ත කෞශල්‍යය

4.  සිතට ප්‍ර‍ග්‍ර‍හ දියයුතු කල ප්‍ර‍ග්‍ර‍හ දීම

5.  සිත නිග්‍ර‍හ කළයුතු කල නිග්‍ර‍හ කිරීම

6.  සිත සතුටු කළයුතු විට සතුටු කිරීම

7.  සිත උපේක්‍ෂා කළ යුතු විට උපේක්‍ෂා කිරීම

8.  අසමාහිත පුද්ගල පරිවර්‍ජනය

9.  සමාහිත පුද්ගල සේවනය

10.     තදධිමුක්තිය යන මොහුයි.

 

1. වස්තු විශද ක්‍රියාව නම් - අධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදු කර ගැන්ම ය, යම් විටෙක ඒ යෝගාවචරයාගේ කෙස් - නිය - ලොම් දික්වැ වැඩිණි නම්, ශරීරය හෝ ඩහ මලින් ගැවසිණි නම් එවිට අධ්‍යාත්මික වස්තු අපිරිසිදු වූයේ වෙයි. යම් විටෙක සිවුර දිරුම් කඩට ගියේ නම්, කිලිටි වූයේ නම්, දුර්‍ගන්‍ධ වහනය කෙරේ නම්, සෙනස්න හෝ කසලින් යුක්ත විණි නම් එවිට බාහිර වස්තු අපිරිසිදු වූයේ වෙයි. අධ්‍යාත්මික බාහිර වස්තු අපිරිසිදු කල්හි චිත්ත - චෛතසික උපන් විට නුවණ ද අපිරිසිදු වේ. අපිරිසිදු පහන් කබල්, පහන් තිර, පහන් තෙල් නිසා නැඟෙන පහන් සිල්ලේ එළිය ද අපිරිසිදු වන්නාක් මෙනි. අපිරිසිදු නුවණින් සංස්කාර සම්මර්‍ශනය කරන කල්හි සංස්කාරයෝ ද විභූත වැ පහළ නො වෙති. කමටහන යෙදෙතු දු ඒ අභිවෘද්‍ධියට නො පැමිණෙ යි. අධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදු කල්හි චිත්ත - චෛතසික උපන් විට ඥානය ද පිරිසිදු වන්නේ ය. පිරිසිදු පහන් කබල් පහන් තිර පන් තෙල් නිසා නැඟෙන පහන් සිල්ලේ ආලෝකය ද පිරිසිදු වන්නාක් මෙනි. පිරිසිදු නුවණින්න සංස්කාර සම්මර්‍ශනය කරන කල සංස්කාරයෝ ද විභූත වැ පහල වෙති. කමටහන යෙදෙන විට එ ද අභිවෘද්ධියට පැමිණෙන්නේ ය.

 

2. ඉන්‍ද්‍රිය සමත්‍ව ප්‍ර‍තිපාදනය නම් - ශ්‍ර‍ද්ධාදි ඉන්‍ද්‍රියයන් සම බවට පැමිණවීමය. ඉදින් ඔහුගේ සද්ධින්‍ද්‍රිය බලවත් වැ සෙසු ඉන්‍ද්‍රිය දුබල විණි නම් විරියින්‍ද්‍රියයෙන් ප්‍ර‍්‍ර‍ග්‍ර‍හ කෘත්‍යය ද, සතින්‍ද්‍රියයෙන් උපට්ඨාන කෘත්‍යය ද, සමාධින්‍ද්‍රියයෙන් අවික්‍ෂෙප කෘත්‍යය ද, පඤ්ඤින්‍ද්‍රියයෙන් දර්‍ශන කෘත්‍යය ද කළ හැකි නොවේ. (ප්‍ර‍ග්‍ර‍හ නම් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට අනුබල දීම ය. උපට්ඨාන නම් අරමුණ කරා එළඹ සිටීමය. අවික්‍ෂේපව නම් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් විසිර යා නොදී තැන්පත් කිරීම ය. දර්‍ශන නම් ඇති සැටියෙන් දැන ගැන්ම ය.) එබැවින් ඒ ඉන්‍ද්‍රිය ධර්‍ම ස්වභාවය මෙනෙහි කිරීමෙන් හෝ යම් ආකාරයකින් මෙනෙහි කරන විට සද්ධින්‍ද්‍රිය බලවත් වූයේ ද ඒ ආකාරයෙන් මෙනෙහි නො කිරීමෙන් හෝ සද්ධින්‍ද්‍රිය අඩු කර ගත යුතු. වක්කලි තෙරුන් ගේ කථාව මෙහි ලා දෘෂ්ටාන්ත ය.

 

ඉදින් විරියින්‍ද්‍රිය බලවත් විණි නම් සද්ධින්‍ද්‍රියට අධිමොක්‍ෂ කෘත්‍යය ද, සෙසු ඉන්‍ද්‍රියයන්ට තම තමා අයත් සෙසු කෘත්‍ය ද කළ හැකි නොවේ. එ බැවින් ඒ විරියින්‍ද්‍රිය පස්සද්ධාදි භාවනායෙන් අඩු කරගත යුතු. සොණ තෙරුන්ගේ කථාව මෙහි දෘෂ්ටාන්ත ය. මෙසේ සෙසු ඉන්‍ද්‍රිය පිළිබඳ වැ ද එක්ක බලවත් කල්හි සෙස්සන්ට තම තමා අයත් කෘත්‍ය කළ නො හැකි බව දත යුතුයි.

 

මෙහි කිය යුත්තෙක් ඇති. මේ සමත්‍ව සම්පාදනයෙන් විශේෂයෙන් ප්‍ර‍ශස්ත වන්නේ ශ්‍ර‍ද්ධා - ප්‍ර‍ඥා දෙදෙනාගේ ද, වීර්‍ය්‍ය - ප්‍ර‍ඥා දෙදෙනාගේ ද සමත්‍ව සම්පාදනය යි. යමකු ගේ ශ්‍ර‍ද්‍ධාව බලවත් වැ ප්‍ර‍ඥාව දුර්බල විණි නම් හෙතෙමේ මුද්ධප්ප සන්න වේ. හේ අස්ථානයෙහි ද පහදින්නේ ය. යමකුගේ ප්‍ර‍ඥාව බලවත් වැ ශ්‍ර‍ද්ධාව දුර්බල විනි නම් හෙතෙමේ කෛරාටික පක්‍ෂය භජනය කරන්නේ ය. (සිත් උපන් පමණින් ම කුසල් වෙයි. දන් ආදිය දීමෙන් කටයුතු කිමැ යි.) බෙහෙදින් හටගත් රෝගය මෙන් හෙතෙමේ අතේකිච්ඡ වේ හෙවත් පිළියම් කට හැක්කේ නොවේ. ශ්‍ර‍ද්ධා-ප්‍ර‍ඥා දෙක සම කල්හි ස්ථානයෙහි ම පහදින්නේ ය.

 

යමකුගේ සමාධිය බලවත් වැ වීර්‍ය්‍යය දුර්බල විණි නම් කුසීත භාවය ඔහු මැඩලන්නේ ය. කුමක් හෙයින් ද සමාධිය කුසීත භාවයට පක්‍ෂ බැවිනි. යමකුගේ වීර්‍ය්‍යය බලවත් වැ සමාධිය දුර්බල විණි නම් උද්ධච්ච භාවය ඔහු මැඩලන්නේ ය. කුම්ක හෙයින් ද වීර්‍ය්‍යය උද්ධච්ච පක්‍ෂයෙහි පවත්නා බැවිනි. එසේ හෙයින් සමාධිය වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ කුසීද භාවයෙහි ද, වීර්‍ය්‍යය සමාධියෙන් යුක්ත වූයේ උද්ධච්ච භාවයෙහි ද, වැටෙන්නට ද ඉඩ නො දෙන්නේ ය. එ බැවින් මේ සමාධි වීර්‍ය්‍ය දෙක සම කැරැ ගත යුතු ය. ඒ සම කැරැ ගැන්මෙන් අර්පණාව වන්නේ ය.

 

තව ද කියයුත්තෙක් ඇති. සමාධි භාවනායෙහි නියුක්ත යෝගාවචරයාට බලවත් වූ ම ශ්‍ර‍ද්ධාව අවශ්‍ය ය. ශ්‍ර‍ද්ධාව මඳවිණි නම් “පඨවි පඨවි” කී පමණින් ධ්‍යාන නො ලත් කල උත්සාහය හැරැ පියන්නේ ය. බලවත් ශ්‍ර‍ද්ධා ඇත්තේ “බුදුන් වදාළ මේ විධි ඒකාන්තයෙන් සිද්ධ වන්නේය යි” අදහමින් පරිකර්‍ම කොටැ අර්පණාවට පැමිණෙන්නේ ය.

 

තව ද සමාධි - ප්‍ර‍ඥා දෙක අතුරෙන් සමාධි කර්‍මමිකයාට බලවත් වැ අවශ්‍ය වන්නේ එකග්‍ර‍තාව ය. හේ ඒකාග්‍ර‍තායෙන් අර්පණාවට පැමිණෙන්නේ ය. විදර්‍ශනා කර්‍මමිකයාට බලවත් වැ අවශ්‍ය වන්නේ ප්‍ර‍ඥාව ය. හෙතෙමේ එයින් ලක්‍ෂණ ප්‍ර‍තිවේධයට පැමිණෙන්නේ ය. යට දැක්වුණු සේ මේ සමාධි ප්‍ර‍ඥාවන්ගේ සමත්‍වයෙන් ද අර්පණාව ලබාගත හැකිය.

 

සතිය වනාහි ඇම තන්හි බලවත් වැ මැ අවශ්‍ය ය. කුමක් හෙයින් ද සතියෙන් සිත ඖද්ධත්‍ය පාක්‍ෂික වූ ශ්‍ර‍ද්ධා - වීර්‍ය්‍ය - ප්‍ර‍ඥාවන්ගේ වශයෙන් උද්ධච්චයට වැටීමෙන් ද, කෞශීද්‍ය පාක්‍ෂික වූ සමාධියෙන් කොසජ්ජයට වැටීමෙන් ද, රැක ගනු ලබන බැවිනි. එ හෙයින් ම ඒ සතිය සකල ව්‍යඤ්ජනයන්හි ලුණු හා තෙල් මෙන් ද, සමස්ත රාජ කෘත්‍යයන්හි සර්‍ව කාර්‍මමික අමාත්‍යයා මෙන් ද සියලු තන්හි කැමැති විය යුතුය. “සතිපන සබ්බත්‍ථිකා වුත්තා භගවතා, කිංකාරණා? චිත්තංගි සති පටිසරණං ආරක්ඛ පච්චුපට්ඨානා ච සති න විනා සතියා චිත්තස්ස පග්ගහ නිග්ගහො හොති” යනු එහෙයින් කියන ලදී.

 

“සතිය වනාහි සියලු තන්හි කැමැති විය යුතුය යි භගවත් බුදුන් වහන්සේ විසින් වදාරණ ලදි. කුමක් හෙයින් ද සිත සතිය පිහිට කොට ඇත්තේ ය. සතිය ආරක්‍ෂාව වැටහීම කොට ඇත්තේ ය. සතිය නැත්නම් සිතේ උත්සාහයක් ද නිරුත්සාහයක් ද නො වන්නේ ය” යනු එහි අර්‍ථයි.

 

3. නිමිත්ත කෞශල්‍යය නම්:- සිත එකඟ කැරැ ගැන්මට කාරන වන තනා නො ග්ත පඨවිකසිණාදි නිමිති භාවනා කිරීමෙහි ද, භාවනා කිරීමෙන් ලැබ ගත් නිමිති රැකැ ගැන්මෙහි ද දක්‍ෂ බව ය. මෙහි ලා තෙවනු වැ කී භාවනා කිරීමෙන් ලැබැ ගත් නිමිති රැකැ ගැන්මෙහි දක්‍ෂ බව අදහස් කරන ලදැ යි දත යුතු.

 

4.  සිත උත්සාහ කළ යුතු කල දිරිමත් කරන්නේ කෙසේද

 

යම් විටෙක ඒ යෝගාවචරයාගේ සිත ඉතා ලිහිල් වැ ගිය වීර්‍ය්‍ය වීම් ආදියෙන් හැකිළී ගියේ ද එවිට පස්සද්ධි ආදි බොජ්ඣඞ්ග තුන වඩා ධම්මවිචයාදි බොජ්ඣඞ්ග තුන වැඩිය යුතු ය. වදාළේ මැ යි භගවත් බුදුහු විසින්-

 

“සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො පරිත්තං අග්ගිං උජ්ජා-ලෙතු කාමො අස්ස. සො තත්‍ථ අල්ලානි චෙව තිණානි පක්ඛි පෙය්‍ය, අල්ලානිචෙව ගොමයානි පක්ඛිපෙය්‍ය, අල්ලානිචෙව කප්ඨනි පක්ඛිපෙය්‍ය, උදකවාතං ච දදෙය්‍ය, සංසුකෙ න ච ඔකිරෙය්‍ය භබොහා නු ඛො සො භික්ඛවෙ පුරිසො තං පරිත්තං අග්ගිං උජ්ජාලෙතුං ති? නොහෙතං භන්තෙ එවමෙව ඛො භික්ඛවෙ යස්මිං සමයෙ ලිනං චිත්තං හොති අකාලො තස්මිං සමයො පස්සද්ධි සම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, අකාලො සමාධි - පෙ - අකාලො උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු? ලිනං භික්ඛවෙ චිත්තං, තං එතෙහි ධම්මෙගි දුස්සමුට්ඨාපයං හොති. යස්මිං ච ඛො භික්ඛවෙ සමයෙ ලිනං චිත්තං හොති කාලො තස්මිං සමයෙ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො විරියො - පෙ- කාලො පීති සම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, තං කිස්ස හෙතු? ලීනං භික්ඛවෙ චිත්තං තං එතෙහි ධම්මෙහි සුසමුට්ඨාපයං හොති. සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො පරිත්තං අග්ගිං උජ්ජාලෙතු කාමො අස්ස, සො තත්‍ථ සුක්ඛානි චෙව තණානි පක්ඛිපෙය්‍ය, සුක්ඛානි චෙව ගොමයානි පක්ඛිපෙය්‍ය, සුක්ඛානි චෙව කට්ඨානි පක්ඛිපෙය්‍ය, මුඛවාතං ච දදෙය්‍ය, න ච පංසුකෙන ඔකිරෙය්‍ය, භබෙගා නු ඛො සො භික්ඛවෙ පුරිසො තං පරිත්තං අග්ගිං උජ්ජාලෙතුං ති? එවං භන්තෙ”යි[186].

 

“මහණෙනි! මිනිසෙක් මඳ ගින්නක් දල්වා ගනු කැමැති වැ එහි අමු තණපත් දමන්නේ නම් අමු ගොම දමන්නේ නම් අමු දර දමන්නේ නම් දිය මුසු සුළං දෙන්නේ නම් පස් හෝ ඕනේ නම් ඒ පුරුෂයා තෙලේ ගිනි ඇබිත්ත දල්වා ගන්නට පොහොසත් වේද, නැත ස්වාමීනි, මහණෙනි! එමෙන් යම් කලෙක සිත හැකිළී ගියේ නම් එ කල පස්සද්ධී සම්බොජ්ඣඞ්ගය සමාධිසම්බොජ්ඣඞ්ගය උපේක්ඛා-සම්බොජ්ඣඞ්ගය වඩන්නට කල් නො වන්නේ ය. කුමක් හෙයින් ද මහණෙනි! සිත හැකිළී ගියේ ය. හැකිළී ගිය සිත මේ ධර්‍මයන්ගෙන් නඟාලිය නොහැක්කේ ය. මහණෙනි යම් විටෙක සිත හැකිළී ගියේ නම් එවිට ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරියසම්බොජ්ඣඞ්ගය, පීතිසම්බොජ්ඣඞ්ගය වඩන්නනට කල් වන්නේ ය. කුමක් හෙයින් ද, මහණෙනි! සිත හැකිළී ගියේ ය. හැකිළී ගිය සිත මේ ධර්‍මයන්ගෙන් නඟා සිටු විය හැක්කේ ය. මහණෙනි! පුරුෂයෙක් මඳ ගින්නක් දල්වා ගනු කැමැති වැ එහි වියලි තණ රොඩු දමන්නේ නම් වියලි ගොම වැරැටි දමන්නේ නම් වියලි දර කෑලි දමන්නේ නම් මුඛ වාතය දෙන්නේ නම් පස් හෝ නොබහන්නේ නම් ඒ පුරුෂයා ඒ ගිනි ඇබිත්ත දල්වා ගන්නට පොහොසත් වේ ද එසේ ය ස්වාමීනි! යනු එහි අර්‍ථයි.

 

මේ වනාහි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගාදීන්ගේ වැඩීම ඔවුන් පිළිබඳ ආහාර (ප්‍ර‍ත්‍යය) වශයෙන් වන්නේ යයි දත යුතු.

 

වදාළේ ම ය.

 

“අත්‍ථි භික්ඛවෙ කුසලා‘කුසලා ධම්මා. සාවජ්ජා‘නවජ්ජා ධම්මා. හිනප්පණිතා ධම්මා. කණ්හසුක්කයසප්පටි ගාගා ධම්මා. තත්‍ථ යොනිසොමනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣංගස්ස උප්පාදාය උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣංගස්ස භීයොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති”[187] යි.

 

“මහණෙනි; කුශල - අකුශල, සාවද්‍ය - අනවද්‍යා, භීන - ප්‍ර‍ණීත, කෘෂ්ණ-ශුක්ල, සප්‍ර‍තිභාග ධර්‍ම විෂයයෙහි යෝනිසොමනසිකාරය බහුල කර ගැන්ම නූපන් ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට, උපන් ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩා ගැන්මට ආහාර (ප්‍ර‍ත්‍යය) වන්නේ ය” යනු එහි සංක්‍ෂිප්ත අදහස ය.

 

කුශලාදීන් විෂයෙහි යෝනිසොමනසිකාරය නම් කුශලාදීන් ගේ අනවද්‍යා සුඛ විපාකාදිය ස්පර්ශාදීන් ගේ ඵුසනාදිය යන ස්වභාව ලක්‍ෂණයාගේ ද, අනිත්‍යාදි සාමාන්‍ය ලක්‍ෂණයාගේ ද, ප්‍ර‍තිවේධ වශයෙන් පැවැත් මනස්කාරය යි. (කුශලාදීන්ගේ ඒ ඒ ස්වභාව ලක්‍ෂණාදීන්ගේ තත්ත්‍වාවබෝධ වශයෙන් උපන් ජවන චිතේතාත්පාදම අවිපරීත මනස්කාර බැවින් යෝනිසො මනස්කාරය යි කියන ලදි.” යනු සන්නයි.)

 

“අත්‍ථි භික්ඛවෙ ආරම්භධාතු - නික්කමධාතු - පරක්කම ධාතු. තත්‍ථයොනිසොමනසිකාර බහුලිකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පතනස්සවා විරියසම්බොජ්ඣඞ්ගස්ස භීය්‍යොභාවය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති[188] “මහණෙනි! ආරම්භධාතු - නාක්කමධාතු - පරක්කමධාතු විෂයයෙහි යොනිසො මනසිකාරය බහුල කර ගැන්ම නූපන් විරියසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට ද, උපන් විරියසම්බොජ්ඣඞ්ගය වඩා ගැන්මට ද ආහාර (ප්‍ර‍ත්‍යය) වන්නේ ය. මෙහි ආරම්භ ධාතු නම් ප්‍ර‍ථම වීර්‍ය්‍යය යි. (කුශල ක්‍රියාවෙහි මුල් ආරම්භ වශයෙන් පැවති වීර්‍ය්‍යය ධාතු ස්වභාව බැවින් ආරම්භ ධාතුය යි කී නියා යි) නික්කම ධාතු නම් කුශීත කමින් නික්මුණු බැවින් ආරම්භ ධාතුවට වඩා අතිශයෙන් බලවත් වීර්‍ය්‍යය යි. පරක්කම ධාතු නම් මතු මත්තට යන හෙයින් නික්කම ධාතුවට ද වඩා අතිශයින් බලවත් වූ වීර්‍ය්‍යය යි.

 

“අත්‍ථි භික්ඛවෙ පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්ම තත්‍ථ යොනිසොමනසිකාර බහුලිකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති[189] “මහණෙනි! පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීය ධර්‍ම විෂයෙහි යෝනිසෝමනසිකාරය බහුල කැරැ ගැන්ම නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට ද, උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වඩා ගැන්මට ද ආහාර (ප්‍ර‍ත්‍යය) වන්නේ ය. පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධර්‍ම යන මේ ප්‍රිතියට ම නමෙකි. ඒ ප්‍රිත්‍යුත්පාදක මනස්කාර යෝනිසෝමනසිකාර යි.

 

තවද පරිපුච්ඡකතා, වත්‍ථුවියදකිරියතා, ඉන්‍ද්‍රියමත්තපටිපාදනා, දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනා, පඤ්ඤවන්නපුග්ගලසෙවනා, ගම්භීරඤාණ චරියපච්චවෙක්ඛණා, තදධිමුත්තතා යන සප්ත ධර්‍මයෝ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට කරුණු වෙති.

 

පරිපුච්ඡකතා නම් පස්මහ සඟි ඉගෙන ද ආචාර්‍ය්‍යයන් සේවනය කොටැ ඒ ඒ පාදයාගේ අර්‍ථ විචාරීම ය. අටුවා සහිත පස්මහ සඟි හෝ ඉගෙන ඒ ඒ තන්හි ගැටලු තැන් විචාරා ගැන්ම ය.

 

වත්‍ථුවියදකිරියතා නම් අධ්‍යාත්මික බාහිර වස්තු නිර්‍මල කැරැ ගැන්ම ය. ඌර්‍ධව විරේචන අධොවිරේචන දික් කෙහෙරැවුල්-නිය කැපීම ආදිය අධ්‍යාත්මික වස්තු නිර්‍මලකර ගැන්ම ය. හඳනා පොරෝනා සිවුරු සෝදා ගැනීම ආසන සකස්කර ගැනීම් ආදිය බාහර වස්තු නිර්‍මල කර ගැන්ම ය.

 

ඉන්‍ද්‍රියමත්තපටිපාදනා නම් ශ්‍ර‍ද්ධාදි ඉන්‍ද්‍රියන් සමබවට පමුණුවා ගැන්ම ය.

 

දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනා නම් බත් දමන ලද කවුඩන් මෙන් මස් දමන ලද සුනඛයන් මෙන් මෝහයෙන් මුළා වූ සත්ත්‍වයන් දුරු කිරීම ය.

 

පඤ්ඤාවන්නපුග්ගලසෙවනා නම් ප්‍ර‍ඥාව පිණිස කෘතාධිකාර ඇති සත්‍ය-ප්‍ර‍තීත්‍ය සමුත්පාදාදියෙන් දක්‍ෂ ආචාර්‍ය්‍යයන් හෝ විදර්‍ශනා භාවනා කරන ප්‍රාඥයන් හෝ කලින් කල සේවනය කිරීම ය.

 

ගම්භීර ඤාණචරිය පච්චවෙක්ඛාණා නම් ගැඹුරු තැනැත්තන් විසින් අවබෝධ කටයුතු ස්කන්‍ධ - ධාතු ආයතන ප්‍ර‍තීත්‍ය සමුත්පාදාදිය ප්‍ර‍කාශවන්නාවූ හෝ ශූන්‍යතා ප්‍ර‍තිසංයුක්ත වූ හෝ සූත්‍රාන්තයන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කිරීම ය.

 

තදධිමුත්තතා නම් ඒ ධම්මවිචය සම්බොජ්ඣඞ්ග සංඛ්‍යාත ප්‍ර‍ඥායෙහි අදහස් ඇති බව ය. එඑහි නිම්න ප්‍ර‍වණ බව ය.

 

1. අපායාදි භය ප්‍ර‍ත්‍යවේක්‍ෂාකන බව, 2. වීර්‍ය්‍යයට අයත් ලෞකික ලෝකෝත්තර විශේෂාධිගමයන්ගේ ආනිසංස දන්නා බව, 3. “බුදු-පසේබුදු-මහා ශ්‍රාවකයන් ගිය මඟ මා විසින් යා යුතු ය. කුසීත වැ ඒ මඟ යා හැකි නොවන්නේ ය”යි මෙසේ ගමන් මාර්‍ගය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන බව, 4. ප්‍ර‍ත්‍යය දෙන දායකයන්ගේ ඒ ප්‍ර‍ත්‍යය දානය මහත් ඵල කිරීමෙන් පිණ්ඩපාතයට බුහුමන් කරන බව, 5. “මාගේ ශාස්තෘන් වහන්සේ වීර්‍ය්‍යාරම්භ යෙහි ගුණ වර්‍ණනා කරන සේක. උන්වහන්සේ ඉක්මවා ලිය නො හැකි අනුශාසනා ඇති සේක. අපට බොහෝ උපකාර සේක. ප්‍ර‍තිපත්ති පූජායෙන් පුදන්නේ ම උන්වහන්සේ පිදුයේ නම් වන්නේ ය. අන්‍යාකාරයකින් පිදුයේ නම් නො වන්නේ ය”යි මෙසේ ශාස්තෘන්වහන්සේ ගේ මමත්‍වය ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කරන බව, 6. උන්වහන්සේගෙන් සද්ධර්‍ම සංඛ්‍යාත මහා දායාදය මා විසින් ගත යුතු ය. එය කුසීත වැ ගත නො හැකි ය යි දායාද මහත්ත්‍වය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන බව, 7. ආලෝක සංඥාවව මෙනෙහි කිරීම ය, ඉරියව් මාරුකිරීම ය, අභ්‍යවකාශ සේවනය යනාදියෙන් ථීන - මිද්ධ දුරුකරන බව, 8. අලස වූ භාවනායෙහි නාම මාත්‍ර‍ පවා නා දන්නා කායදඩ්ඪි බහුල වූ සෙය්‍යසුඛාදි යෙහි යෙදෙන-තිරිසන් කථායෙහි නිරත - පුද්ගලයන් දුරු කරන බව, 9. භාවනාරම්භ වශයෙන් ආරබ්ධ වූ ද්‍රෘඪ වීර්‍ය්‍ය ඇති පුද්ගලයන් කලින් කල සෙවුනා බව, 10. සතර වැදෑරුම් සම්‍යක් ප්‍ර‍ධාන වීර්‍ය්‍යයාගේ ආනුභාව සිහි කරන බව, 11. ඒ වීර්‍ය්‍ය සමේබාධ්‍යඞ්ගයෙහි ඇම තන්හි නිම්න ප්‍ර‍වණ බව යන මේ එකොළොස් ධර්‍මයෝ විරිය සමේභාධ්‍යඞ්ගය උපදවා ගැන්මට කාරණ වෙත්.

 

බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති, උපසමානුස්සති යන මේ සප්ත විධි භාවනා වැඩීම ය, බුද්ධාදීන් කෙරෙහි ප්‍ර‍සාද ස්නෙහ රහිත පුද්ගලයන් දුරු කරන බව ය. බුද්ධාදීන් කෙරෙහි ප්‍ර‍සාද ස්නේහ සහිත සිනිදු සිත් ඇති පුද්ගලයන් සෙවුනා බව ය, පසාදනීය සූත්‍රාදිය සිහිකරන බව ය. පීතිසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මෙහි නිම්න ප්‍ර‍වණ බවය යන මේ එකොළොස් ධර්‍මයෝ පීතිසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට කාරණා වෙති.

 

මෙසේ මේ ආකාරයෙන් මේ ධර්‍ම උපදවා ගන්නේ ධම්ම විචය සම්බොජ්ඣඞ්ගාදිය වඩන්නේ නම් වන්නේ ය.

 

සිතට ධෛර්‍ය්‍යය දියයුතු කල ධෛර්‍ය්‍ය දෙන ආකාරය යි.

 

3. සිතට නිග්‍ර‍හ කළ යුතු කල නිග්‍ර‍හ කරන්නේ කෙසේද? යම් කලෙක ඒ යෝගාවචරයාගේ සිත තරයේ පටන් ගත් වීර්‍ය්‍යත්‍වාදියෙන් නො සන්සුන් බවට පැමිණෙන්නේ වන්නේ ද, එකල ධම්මවිචයාදි සම්බොජ්ඣඞ්ග තුන නො වඩා පස්සද්ධි ආදී සම්බොජ්ඣඞ්ග තුන වඩන්නේ ය. වදාළේ මැ යි. භගවත් බුදුහු

 

“සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො මහන්තං අග්ගික්ඛන්‍ධ නිබ්බාපෙතුකාමො අස්ස සා තත්‍ථ සුක්ඛානි චෙව තිණානි පක්ඛිපෙය්‍ය - පෙ - නව පංසුකෙන ඔකිරෙය්‍ය, භබ්බො නුඛො සො භික්ඛවෙ පුරිසො මහන්තං අග්ගික්ඛන්‍ධං නිබ්බා-පෙතුං ති? නො හෙතං ගන්තෙ. එවමෙව ඛො භික්ඛවෙ යස්මිං සමයෙ උද්ධතං චිත්තං හොත. අකාලො තස්මිං සමයෙ ධම්ම-විචය සම්බොජ්ඣංගස්ස භාවනාය, අකාලො විරිය - පෙ අකාලො පීතිසම්බොජ්ඣංගස්ස භාවනාය, තංකිස්ස හෙතු? උද්ධතං භික්ඛවෙ චිත්තං, තං එතෙහි ධම්මෙහි දුවූපසමං හොති. යස්මිං ච ඛො භික්ඛවෙ සමයෙ උද්ධතං චිත්තං හොති, කාලො තස්මිංසමයෙ පස්සද්ධිසම්බොජ්ඣංගස්ස භාවනාය කාලො තස්මිංසමයෙ පස්සද්ධිසම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො සමාධි -පෙ- කාලෙ උපෙක්ඛා සම්බොජ්ඣංගස්ස භාවනාය, තංකිස්සහෙතු? උද්ධතංභික්ඛවෙ චිත්තං ත එතෙහි ධම්මෙහි සුවුපසමං හොති, සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො මහන්තං අග්ගික්ඛන්‍ධං නිබ්බාපෙතු කාමො අස්ස. සො-තත්‍ථ අල්ලානි චෙව තිණානි පක්ඛිපෙය්‍ය පසුකෙන ච ඔකිරෙය්‍ය, භබ්බො නුඛොසො පුරිසො මහන්තං අග්ගික්ඛන්‍ධං නිබ්බාපෙතුන්ති? එවං භන්තෙ[190]   යි.

 

“මහ‍‍ණෙනි! මිනිසෙක් මහා ගිනිකඳක් නිවාලනු කැමැති වැ එහි වියලි තණ රොඩු දමන්නේ නම් වියලි ගොමවැරටි දමන්නේ නම් වියලි දර දමන්නේ නම් දියමුසු සුළං නො දෙන්නේ නම් පස් හෝ නො ඕනේ නම් ඒ මිනිසා මහා ගිනිකඳ නිවාලන්නට සමර්‍ථවේ ද නැත ස්වාමීනි, මහණෙනි! එමෙන් ම යම් කලෙක සිත නො සන්සුන් බවට පැමිණියේ ද එකල්හි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරිය සම්බොජ්ඣඞ්ගය, පීති සම්බොජ්ඣඞ්ගය වඩන්නට කල් නො වන්නේ ය. කුමක් හෙයින් ද මහණෙනි! සිත නො සන්සුන්, නො සන්සුන් සිත මේ ධර්‍මයන්ගෙන් සන්සිඳුවා ගන්නට නො හැකි ය. මහණෙනි යම් කලෙක සිත නො සන්සුන් බවට පැමිණියේ ද එකල්හි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය, සමාධිසම්බොජ්ඣඞ්ගය, උපේක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩන්නට සුදුසු වන්නේ ය. කුමක් හෙයින් ද මහණෙනි! සිත නො සන්සුන. එය ඒ ධර්‍මයන්ගෙන් සන්සිඳුවා ගත හැක්කේ ය. මහණෙනි මහා ගිනිකඳ නිවියටියෛක් එහි අමු තෘණ දමන්නේ නම් අමු ගොම දමන්නේ නම් අමු දර දමන්නේ නම් දිය මුසු සුළං දෙන්නේ නම් පස් හෝ ඕනේ නම් ඒ මිනිසා ඒ ගිනිකඳ නිවාලන්නටට සමර්‍ථවේද එසේ ය ස්වාමීනි, යනු එහි අර්‍ථ යි.

 

මෙහි දු පස්සද්ධි සම්බොජ්ඣඞ්ගාදීන් ගේ වැඩීම ඔවුන් පිළිබඳ ආහාර (ප්‍ර‍ත්‍යය) වශයෙන් වන්නේ යයි දත යුතු. වදාළේ මැ යි.

 

“අත්‍ථි භික්ඛවෙ කායපස්සද්ධි - චිත්තපස්සද්ධි, තත්‍ථ යොනිසො මනසිකාර  බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධි සම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්තස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භිය්‍යො භාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති[191] මහණෙනි, කායපස්සද්ධියෙක් ඇත්තේ ය. චිත්තපස්සද්ධියෙක් ඇත්තේ ය. ඒ කායපස්සද්ධි - චිත්තපස්සද්ධින්හි යොනිසො මනසිකාරය නූපන් පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මටට ද, උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩා ගැන්මට ද, මහත් බවට පමුණුවා ගැන්මට ද, සම්පූර්‍ණ කර ගැන්මට ද, පවත්නේ ය.

 

“අත්‍ථි භික්ඛවෙ සමථනිමිත්තං අව්‍යග්ගනිමිත්තං තත්‍ථං යොනිසො මනසිකාරබහුලිකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා සමාධි සම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්තස්ස වා සමාධි සම්බොජ්ඣඞ්ගස්ස භිය්‍යො භාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති[192] “මහණෙනි! උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගඨානීය ධර්‍ම ඇත්තේ ය. එහි යොනිසො මනසිකාරය බහුල කැරැ ගැන්ම නූපන් උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට ද, උපන් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩා ගැන්මට ද, විපුලත්‍වයට පමුණුවා ගැන්මට ද, සම්පූර්‍ණ කැරැ ගැන්මට ද, පවත්නේ ය.

 

මේ තුන් තන්හි මැ යොනිසෝ මනසිකාරය නම් යම් යම් ආකාරයකින් ඒ යෝගී හට පස්සද්ධි-සමාධි-උපෙක්ඛා උපන්නාහු ද, ඒ ඒ ආකාරය සලකා ඒ පස්සද්ධි ආදීන් උපදවා ගැනීම වශයෙන් පවත්වන ලද මනස්කාරය යි.

 

තව ද 1. ප්‍ර‍ණිතාහාර සෙවුනා බව, 2. සැප සෘතු සෙවුනා බව, 3. සැප ඉරියව් සෙවුනා බව, 4. සම වූ කාය - වාඞ්-මනඃ ප්‍රයෝග ඇති බව, 5. ක්ලේශ පරිදාහ ඇති නොසන්සුන් පුද්ගලනය් දුරු කරන බව, 6. ක්ලේශ පරිදා නැති සන්සුන් පුද්ගලයන් සෙව්නා බව, 7. පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයෙහි නැමී ගිය අදහස් ඇති බව යන සප්ත ධර්‍මයෝ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට කරුණු වන්නාහ. 1. අධ්‍යාත්මික බාහිර වස්තුන්ගේ විසද බව, 2. පඨවි කසිණාදි චිත්තකග්ගතා නිමිතීන්හි දක්‍ෂ බව, 3. සද්ධාදි ඉන්‍ද්‍රියයන් සමකර ගන්නා බව, 4. සුදුසු කාලයෙහි සිතට නිග්‍ර‍හ කරන බව, 5. සුදුසු කාලයෙහි සිතට අනුබල දෙන බව, 6. භාවනාස්වාද රහිත සිත ශ්‍ර‍ද්ධා වශයෙන් සංවේග වශයෙන් සතුටු කරන බව, 7. ලීනුද්ධව්වාදි රහිත වැ සිත මනා වැ පවත්නා කල්හි එහි උපේක්‍ෂා කරන බව, 8. වික්‍ෂිප්ත පුද්ගලයන් දුරු කරන බව, 9. සමාහිත පුද්ගලයන් සෙවුනා බව, 10. ධ්‍යාන විමෝක්‍ෂ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන බව, 11. සමාධි සම්බොජ්ඣඞ්ගයෙහි නැමී ගිය අදහස් ඇති බව, යන එකොලොස් ධර්‍ම සමාධිසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට කරුණු වන්නේ ය.

 

1.  ප්‍රිය අප්‍රිය සියලු සත්ත්‍වයන් කෙරෙහි මධ්‍යස්ථ බව, 2. චක්‍ෂුරාදියෙහි හා පාත්‍ර‍ චීවරාදියෙහි මධ්‍යස්ථ බව, 3. ප්‍රිය අප්‍රිය සත්ත්‍වයන් කෙරෙහි හා චක්‍ෂූරාදි පාත්‍ර‍ චීවරාදි සංස්කාර යන් කෙරෙහි මමත්‍වය කරන පුද්ගලයන් දුරු කරන බව, 4. සත්ත්‍වයන් කෙරෙහි හා සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථ පුද්ගලයන් සෙවුනා බව, 5. උපෙක්‍ෂා සම්බොධ්‍යාඞ්ගයෙහි නිම්න ප්‍ර‍වණ බව යන මේ පඤ්ච ධර්‍මයෝ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට කරුණු වන්නේ ය.

 

මෙසේ මේ ආකාරයෙන් මේ ධර්‍ම උපදවා ගන්නේ පස්සද්‍ධිසම්බොජ්ඣඞ්ගාදිය උපදවා ගන්නේ නම් වේ.

 

සිතට නිග්‍ර‍හ කළයුතු විට නිග්‍ර‍හ කරන ආකාරය යි.

 

6. සිත සතුටු කළ යුතු විට සතුටු කරන ආකාරය මෙසේ යි.

 

යම් විටෙක ඒ යෝගාවචරයාගේ සිත නුවණ මෙහෙයීමේ මඳ බැවින් හෝ ඒකාග්‍ර‍තා සුඛය නො ලැබීමෙන් හෝ ආස්වාද රහිත වන්නේ ද, ඒ විට ඒ සිත අෂ්ට සංවේග වස්ත්‍ර‍ මෙනෙහි කිරීමෙන් සංවේගයට පමුණුවා ගන්නේ ය. (“යම් වේලෙක ප්‍ර‍ඥා ප්‍රයෝග මඳ වේද එ වේලෙහි නො සකස් අහරක් පුරුෂයා හට රුචි නො එළවන්නාක් මෙන් භාවනා තොමෝ සිතට අභිරුචි නො එළවයි. එහෙයින් නිරාස්වාද වෙයි. යම් වේලෙක භාවනා තොමෝ මනා කොටැ විථි ප්‍ර‍තිපන්න නො වන බැවින් මතු මතුයෙහි විශේෂාවහ නො වේ ද එ සමයෙහි ඒකාග්‍ර‍තා සුඛයාගේ අලාභයෙන් චිත්තය නිරාස්වාද වෙයි” යනු පැරකුම් සන්න යි.)

 

අෂට සංවේග වස්තු නම් :- ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සතර හා අපාය දුක හා අතීත සංසාර මූලක දුක හා අනාගත සංසාර මූලක දුක වත්මනහි අහර සෙවුම් මූලක දුකයි එතෙකින් ද බුද්‍ධ-ධර්‍ම-සංඝ යන තෙරුවන් ගුණ සිහි කිරීමෙන් ද ඔහුගේ සිතට ප්‍ර‍සාද උපදවන්නේ ය.

 

සිත සතුටු කළ යුතු විට සතුටු කරන ආකාරය යි.

 

7. සිතට උපේක්‍ෂා කළ යුතු විට උපේක්‍ෂා කරන ආකාරය මෙසේය.

 

මෙසේ මැනෙවින් පිළිපදනා ඒ යෝගාවචරයාගේ සිත අලීන වැ අනුද්ධත වැ අනිරාස්වාද වැ ආරම්මණයෙහි සම්ප්‍ර‍වෘත්ත වැ සමථ වීථියට පිළිපන්නේ වන්නේ ද, එවිට ඒ සිතට ප්‍ර‍ග්‍ර‍හ (අනුබල) දීමෙහි හෝ නිග්‍ර‍හ කිරීමෙහි හෝ සතුටු දැනවීමෙහි ව්‍යාපාරයකට හෙතෙමේ නො පැමිණෙන්නේ ය. අසුන් සම වැ යන කල්හි ප්‍ර‍ග්‍ර‍හාදිය නො දෙන අශ්ව සාරථියකු මෙනැ යි දත යුතු යි.

 

සිතට උපේක්‍ෂා කළ යුතු විට උපේක්‍ෂා කරන ආකාරයය යි.

 

8. අසමාහිත පුද්ගල පරිවර්‍ජනය නම් :- නෛෂ්ක්‍ර‍ම්‍ය ප්‍ර‍තිපදාවට හෙවත් ධ්‍යානප්‍ර‍තිපත්තියට නො නැංග නොයෙක් කටයුතුවල යෙදුණු වික්‍ෂිප්ත සිත් ඇති පුද්ගලයන් දුරින්ම දුරු කිරීම ය.

 

9. සමාහිත පුද්ගල සේවනය නම් - නෛෂ්ක්‍ර‍ම්‍ය ප්‍ර‍තිපදාවට හෙවත් ධ්‍යානප්‍ර‍තිපත්තියට නැංග - සමාධිභාගී පුද්ගලයන් කරා කලින් කල එළඹීම ය.

 

10. තදධිමුක්තිය නම් :- සමාධියෙහි අදහස් ඇති බව - සමාධියම ගුරු කොට ඇති බව - සමාධියට නැමී ගත් බව - සමාධියට වෙසෙසින් නැමී ගත් බව - සමාධියට බර වැ සිටින බව යි.

 

මෙසේ මේ දශවිධ අර්පණා කෞශල්‍යය සම්පාදනය කටයුතුයි. 1. ලත් නිමිත්තෙහි එසේ අර්පණා කෞශල්‍යය සම්පාදනය කරන්නහුට අර්පණාව ලැබෙන්නේ ය. 2. එසේ කොටැ ද ඉදින් අර්පණාව නො ලද්දේ නම් එතෙකිනු දු භාවනා යෝගය නො හරින්නේ ය. මත්තෙහි දු ව්‍යායාම කරන්නේ ය. සම්‍යක් ව්‍යායාමය හැරැපියා පුද්ගලයෙක් මඳ විශේෂයකට හෝ පැමිණෙන්නේ ය, යන මෙය සිදු නො වන්නකි. එ බැවින් චිත්ත ප්‍ර‍වෘත්තාකාරය සලකන්නා වූ ප්‍රාඥයෝගී යළි යළි වීර්‍ය්‍ය සමත්‍වය යොදන්නේ ය. මඳකුදු ලීනත්‍වයට බස්නා සිත නඟා සිටුවන්නේ ය. අත්‍යාරබ්ධ සිත වළකා සම සේ පිහිටුවන්නේ ය. මල් රොන්හි, මානිල් පෙත්තෙහි, මකුලු හුයෙහි, නැවෙහි, තෙල් නළෙහි, මීමැසි, සල්ලවෙද්‍යාදීන්ගේ පැවැත්ම අටුවායෙහි වර්‍ණනා කළ පරිදි සිත ලීනත්‍වයෙන් හා උද්ධත්ත්‍වයෙන් සර්‍වකාරයෙන් මුදලා ප්‍ර‍තිභාගනිමිත්ත කරා මෙහෙයන්නේ ය.

 

මේ අර්‍ථය දැක්වුණු ගාථා මෙසේ ය.

 

“එවං හි සම්පදාය තා - අප්පණා කාසල්ලං ඉමං

පටිලද්ධෙ නිමිත්තස්මිං - අප්පණා සම්පවත්තති

 

එවම්පි පටිපන්නස්ස - සචෙ සා සප්පවත්තති

තථාපි නජහෙ යොගං - යායමෙථව පණ්ඩිතො

 

හිත්‍වාහි සම්මා වායාමං - විසෙසං නාම මාණවො

අධිගච්ඡෙ පරිත්තම්පි - ධානමෙතං න විජ්ජති

 

චිත්තප්පවත්ති ආකාරං - තස්මා සල්ලක්ඛයං බුධො

සමථං විරියස්සෙව - යොජයෙථ පුනප්පුනං

 

ඊසකං පි ලයං යන්තං - පග්ගණ්හෙථෙව මානසං

අච්චාරද්ධං නිසෙධෙත්‍වා - සම්මෙව පවත්තයෙ

 

රෙණුම්හි උප්පලදලෙ - සුත්තෙ නාවාය නාළියා

යථා මධුකරාදීනං - පවත්ති සම්පවණ්ණිතා

 

ලීන උද්ධතභාවෙහි - මොචයිත්‍වාන සබ්බ සා

එවං නිමිත්තාභිමුඛං - මානසං පටිපාදයෙ” යි.

 

මෙහි මල් රොන් ආදිය උපමාන උපමෙයාර්‍ථ සංසන්‍දනය මෙසේ දත යුතු. අති දක්‍ෂ මීමැස්සා අසවල් රුකෙහි මල් පිපුණේ යයි අසා තියුණු වේගයෙන් ගමන් කරන්නේ ඒ වෘක්‍ෂය ඉක්ම පියාසර කොටැ යළිත් හැරී එන්නේ රේණු වගුළ කල්හි එහි සම්ප්‍රාප්ත වන්නේ ය. මල පිපුණු ඇසිල්ලෙහි රේණු සුරස ය. පසු වැ වාතාදියෙන් එය ගිලිහී වැටෙයි. එවිට එහි එළඹෙන මීමැස්සාට සුරස මල් රේණු නො ලැබෙයි. අදක්‍ෂ මීමැස්සා මඳ වේගයෙන් ගමන් කරන්නේ මල් රේණු වැටී ගිය කල්හි මැ එළඹෙන්නේ ය. අති දක්‍ෂත් නො වූ අදක්‍ෂත් නො වූ සම දක්‍ෂ මී මැසි වනාහි සම වේගයෙන් ගමන් කරන්නේ සුවසේ මල් ගොමුව කරා එළඹැ රිසියෙන තාක් මල් රේණු උකා ගෙන මී වද සාදා මධුරසය වළඳන්නේ ය.

 

පැන් තළියෙහි තුබූ මහනෙල් මල් පෙත්තෙහි ශිරාවෙධා දි ශස්ත්‍ර‍ කර්‍ම උගන්නා ශල්‍ය වෛද්‍ය ශිෂ්‍යයන් අතුරෙන් ඉතා දක්‍ෂ තැනැත්තේ ශීඝ්‍ර‍වැ ශස්ත්‍ර‍ය හෙළා ලීමෙන් මහනෙල් පෙත්ත දෙකඩ කොටැ හෝ පලා ලන්නේ ය. දියෙහි හෝ ගලා ලන්නේ ය. අදක්‍ෂ තැනැත්තේ පෙත්ත කැපීයේ දෝ දියෙහි ගැලී යේ දෝ යන බියෙන් සැතින් ස්පර්‍ශ කරන්නට ද අපොහොසත් වන්නේ ය. අති දක්‍ෂත් නොවූ අදක්‍ෂත් නොවූ සම දක්‍ෂ ශිෂ්‍ය වනාහි සම ප්‍රයොගයෙන් පෙත්තෙහි සැත් පද දක්වා ශිල්ප පුහුණු කොටැ ගෙනැ එබඳු ශස්ත්‍ර‍ කර්‍මයෙහි වැඩ කොටැ ලාභ ලබන්නේ ය.

 

“යමෙක් බඹ සතරක් සා මකුළු හුයක් ගෙනායේ නම් හේ සාරදහසක් කහවණු ලබන්නේ ය” යි රජු කී කල්හි අති දක්‍ෂ පුරුෂයෙක් වේගයෙන් මකුළු හූ හයන්නේ ඒ ඒ තැන සිඳැලන්නේ ය. අදක්‍ෂ පුරුෂ කැඩෙයි යන බියෙන් අතින් අල්ලන්නට ද අපොහොසත් වන්නේ ය. සම දක්‍ෂ පුරුෂ වනාහි කෙළවර පටන් ගෙනැ සම ප්‍ර‍යෝගයෙන් දණ්ඩයෙක වෙළා ගෙනවුත් දී ලාභය ලබන්නේ ය.

 

අති දක්‍ෂ නියමුවා බලවත් වාතයෙහි රුවල පුරා පවන ගන්වන්නේ නැව නො දෙසට පමුණුවන්නේ ය. අදක්‍ෂ නියමුවා මන්‍දවාතයෙහි රුවල නඟා නැව එ තැනම තබන්නේ ය. සම දක්‍ෂ නියමු වනාහි මන්‍දවාතයෙහි රුවල පුරා බලවත් වාතයෙහි අඩ රුවල ඇද සුවසේ රිසි තැනට පැමිණෙන්නේ ය.

 

“යමෙක් තෙල් නො ඉහිරුවා බටය පිරෙව්වේ නම් හේ ලාභ ලබන්නේ ය”යි ආචාර්‍ය්‍යයකු අතවැස්සනට කී කල්හි අති දක්‍ෂ තැනැත්තේ වේගයෙන් පුරවමින් තෙල ඉහිරුවන්නේ ය. අදක්‍ෂ තැනැත්තේ තෙල් ඉහිරෙයි යන බියෙන් වත් කරන්නට ද අපොහොසත් වන්නේ ය. සම දක්‍ෂ වනාහි සම ප්‍රයොගයෙන් තෙල් පුරවා ලාභ ලබන්නේ ය.

 

එ මෙන්ම ඇතැම් යෝගාවචරයෙක් “ප්‍ර‍තිභාග නිමිත්ත උපන් කල්හි වහා අර්පණාවට පැමිණෙන්නෙමි”යි වීර්‍ය්‍යය දැඩි කරයි. ඔහුගේ සිත අත්‍යාරබ්ධ වීර්‍ය්‍ය ඇති බැවින් උද්ධච්චයෙහි නො සන්සුන් බවෙහි වැටීමෙන් අර්පණාව ලැබ ගන්නට අසමර්‍ථ වෙයි. ඇතැම් යෝගාවචරයෙක් අත්‍යාරබ්ධ වීර්‍ය්‍යයෙහි දොස් දැක “මට දැන් අර්පණයෙන් කවර ප්‍රයෝජන දැ යි වීර්‍ය්‍යය පිරිහෙළ යි. ඉතා හැකුළුණු වීර්‍ය්‍ය ඇති බැවින් එවිට ඔහු ගේ සිත කුසීත බැව්හි වැටෙයි. හේ ද අර්පණා ලබන්නට අසමර්‍ථ වේ. යමෙක් වනාහි මඳකුදු ලීන වූ සිත ලීන භාවයෙන් ද උද්ධත වූ සිත උද්ධත භාවයෙන් ද,  මුදා සම ප්‍රයෝගයෙන් නිමිත්තා භිමුඛ කොටැ මෙහෙයා ද හේ අර්පණායට පැමිණෙන්නේ ය. එ බන්දකු විය යුතු.

 

“රෙණුම්හි උප්පලදලෙ-සුත්තෙ නාවාය නාළියා

යථා මධුකරාදීනං-පවත්ති සම්පවණ්ණිතා

 

ලීන උද්ධත භාවෙහි-මොචයිත්‍වාන සබ්බසො

එවං නිමිත්තාභිමුඛං-මානසං පටිපාදයෙ” යි

 

කියන ලද්දේ මේ අර්‍ථය සඳහා ය.

 

මෙසේ විරිය සම යෝජන වශයෙන් නිමිත්තාභිමුඛ කොටැ සිත යොදන ඒ යෝගාවචරයාට “දැන් අර්පණා උපදිති”යි භවඞ්ගුපචේඡද වැ ඉක්බිති “පඨවි පඨවි” යි භාවනානුයෝග වශයෙන් එළඹ සිටි ඒ පඨවි කසිණය ම අරමුණු කොටැ මනොද්‍වාරාවර්‍ජනය උපදනේ ය. ඉක්බිති ඒ පඨවි කසිණය ම අරමුණු කොටැ ජවන සතරෙක් හෝ පසෙක් දිවෙන්නේ ය. ඒ ජව්න අතුරෙන් කෙළවර ජවනය රූපාවචර ය. මුල් ජව්න තුන-හෝ සතර කාමාවචර ය. ඒ ජව්නහි විතක්ක විචාර-පීති-සුඛ-එකග්ගතා යන චෛතසික ප්‍ර‍කෘති කාමාවචර චිත්තයන්හි විතක්කාදීන්ට වඩා අතිශය බලවත් ය යි දත යුතු. යට දැක්වුණු කාමාවචර ජවන් අර්පණාවට පරිකර්‍ම බැවින් ද පරිකර්‍මය යි ද, ග්‍රාම-නගරයන්ට ආසන්න ප්‍රදේශය ගාමූපචාරය නගරූපචාරය යි කියන්නා සේ අර්පණාවට ආසන්න බැවින් හෝ සමීපයෙහි හැසිරෙන බැවින් උපචාරය යිද, පූර්‍වයෙහි වූ පරිකර්‍මයන්ට හෝ මතු අර්පණාවට හෝ අනුලොම් වන බැවින් අනුලොමය යි ද, එහිම අන්තිම ජවනය පරිත්ත ගෝත්‍ර‍ය මඩනා බැවින් හා මහග්ගත ගොත්‍ර‍ය වඩනා බැවින් ගෝත්‍ර‍භූය යි ද කියනු ලැබේ. (ජවන් පසෙක් දිවේ නම් පළමුවන දෙවන තුන්වන ජව්න එකක් එකක් පරිකර්‍ම - උපචාර - අනුලොම නම. සතර වන ජවනය ගෝත්‍ර‍භු නම. පස්වන ජවනය අර්පණා‘යි. ජවන් සතරෙක් දිවේ නම් පළමු වන දෙවන ජවන් එකක් එකක් ම උපචාර අනුලොම නම. තුන් වැන්න ගෝත්‍ර‍භූ ය. සතර වැන්න අර්පණා යි.) අවිශේෂයෙන් සියල්ලට පරිකර්‍මාදි නම් ලැබුණු හෙයින් යට කී ක්‍ර‍මය ගෘහිත ග්‍ර‍හණ වශයෙනි. අගහිත ගහණ වශයෙන් ගනුත් හොත් පංචකනයයෙහි පළමුවන ජවනය පරිකර්‍ම නමි. දෙවැන්න උපචාර නමි. තෙවැන්න අනුලොම නමි. සතර වැන්න ගොත්‍ර‍භු නමි. පස්වැන්න අර්පණා යි. චතුෂ්ක නයයෙහි පළමුවැන්න උපචාර ය. මෙහි පරිකර්‍ම නැත.) දෙවැන්න අනුලොමය. තෙවැන්න ගෝත්‍ර‍භු ය. සතරවැන්න අර්පණා යි. තෙවැන්න ගොත්‍ර‍භු ය. සතර වැන්න අර්පණා යි. අර්පණා වන්නේ සතර වන ජවනය හෝ පස්වන ජවනය මැ යි. එයින් සතර වැන්න අර්පණා වන්නේ ක්‍ෂිප්‍රාභිඥයන්ගේ වශයෙනි. පස්වැන්න අර්පණා වන්නේ දන්‍ධාභිඥයන්ගේ වශයෙනි. එයින් ඔබ ජවන් පතනය වේ. භවාඞ්ගයට වාරය වෙයි. (“භවාඞ්ගාසන්න බැවින් මැ පරීක්‍ෂීණ ජවන හෙයින් හෙන්නක්හු මෙන් වෙයි සේ යි” යනු පැරකුම් සන්න යි.)

 

මතාන්තරයෙක්

 

“පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං ආසෙවන පච්චයෙන පච්චයො”[193] පළමු පළමු කුශල ධර්‍මයෝ පසු පසු කුශල ධර්‍මයන්ට ආසෙවන ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වෙති’යි පට්ඨානයෙහි වදාළ බැවින් ආසේවන ප්‍ර‍ත්‍යය ලැබීමෙන් පසු පසු ධර්‍ම බලවත් වේ. එ එබැවින් සවැන්නෙහි ද, සත්වැන්නෙහි ද අර්පණා වන්නේ යයි ආභිධම්මික ගෝදත්ත ස්ථවිරයන්වහන්සේ කියන සේක. එය සූත්‍ර‍-සූත්‍රානුලොම ආචාර්‍ය්‍යවාදයන් හා නො සැසඳෙන බැවින් ස්වකීය මති මාත්‍රයෙකැ යි අටුවාචාරීන් විසින් ප්‍ර‍තික්‍ෂේප කරන ලදි. අර්පණා වන්නේ සතරවන පස්වන ජවන්හිම ය. භවඞ්ගාසන්න බැවින් එයින් බ්බෙහි ජවන් හුණුයේ නම් වෙයි යනු අටුවා මත යි. මෙසේ විචාරණය කොට මැ කියූ බැවින් අටුවා මතය ප්‍ර‍තික්‍ෂේප කළ හැකි නො වේ.

 

ඒ එසේ මැ යි :- ඡින්නතටාභිමුඛ වැ දිවෙන පුරුෂයෙක් ඒ තට පර්‍ය්‍යයන්තයෙහි පය තබා සිට ගන්නට අසමර්‍ථ වැ තටයට ම වැටෙන්නා සේ භවාඞ්ගයට ආසන්න බැවින් සවැන්නෙහි හෝ සත්වැන්නෙහි නො වැ සතරවැන්නෙහි හෝ පස්වැන්නෙහි ම අර්පණා වන්නේ යයි දත යුතු. ඒ අර්පණා වනාහි ඒක චිත්තක්‍ෂණික ම ය.

 

අද්ධාන පරිච්ඡේද රහිත තැන් අර්පණා පමණක් නො වේ. සප්තස්ථානයෙක කාලපරිච්ඡේද නැත. කවර සප්තස්ථානයෙක ද 1. ප්‍ර‍ථම අර්පණා, 2. ලෞකික අභිඥා, 3. සතර මාර්‍ග, 4. මාර්‍ගාන්තරඵල, 5. රූපාරූපභවයෙහි භවාඞ්ය සඞ්ඛ්‍යාත ධ්‍යාන, 6. නිරොධසමාපත්තියට හේතු වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන, 7. නිරෝධයෙන් නැගෙන්නුගේ ඵල සමාපත්ති-යන සප්ත ස්ථානයෙහි ය.

 

මෙහි සතර වැන්නට දැක්වුණු මාර්‍ගානන්තර ඵල සිත් තුනකින් මතු නො වන්නේ ය. සවැන්නට දැක්වුණු නිරෝධ සමාපත්තියට හේතු වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන සිත් දෙකෙකින් මතු නො වන්නේ ය. පස්වැන්නට දැක්වුණු රූපා‘රූප භවයෙහි භවාඞ්ග සඞ්ඛ්‍යාත ධ්‍යාන චිත්තයන්ගේ ප්‍ර‍මාණයෙක් නැත. සෙසු සතර තන්හි ම ඇත්තේ එක චිත්තක්‍ෂණයෙකි මෙසේ අර්පණා එක චිත්තක්‍ෂණික බව දත යුතු.

 

අර්පණාවට අනතුරු වැ භවාඞ්ග පාත වේ. ඉක්බිති භවාඞ්ග සිඳි ධ්‍යාන ප්‍ර‍ත්‍යවේක්‍ෂා පිණිස මනොද්වාරාවජිනය උපදී. ඉක්බිති ධ්‍යාන ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නේ ය. මෙතෙකින් ඒ යෝගාවචරයා “විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති”[194] යි වදාළ පරිදි කාමයන්ගෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන්ගෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත විචාර සහිත විවිකයෙන් නොහොත් විවේකයෙහි උපන් ප්‍රීති සුඛ ඇති ප්‍ර‍ථම ධ්‍යානය උපදවා වාසය කරන්නේ ය. මෙයින් ඒ යෝගී විසින් අඞ්ග පඤ්චකයකින් විනිර්මුක්ත වූ අඞ්ග පඤ්චකයකින් සමන්විත වූ ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්‍ෂණයෙන් යුක්ත පඨවි කසිණ ප්‍ර‍ථම ධ්‍යානය ලබන ලද්දේ යයි කී නියා දත යුතු.

 

ප්‍ර‍ථම ධ්‍යාන විභාගය

 

ප්‍ර‍ථම ධ්‍යාන ස්වභාවය ප්‍ර‍කාශ කැරැ දක්වන “විවිච්චෙච කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යනාදි දේශනායෙහි “විවිච්චෙව කාමෙහි” යන්නෙහි අර්‍ථය ‘කාමයෙන් වෙන් වැ ප්‍ර‍හාණ වශයෙන් කාමයෙන් ඉවත් වැ’ යනු යි. මෙහි “එව” යන නිපාතය නියමාර්‍ථ යි. එය නියමාර්‍ථ බැවින් ප්‍ර‍ථම ධ්‍යානයට පැමිණ වසන සමයෙහි අවිද්‍යමාන වූ ද කාම එයට විරුද්‍ධ බව ද, කාම පරිත්‍යාගයෙන් ම එයට පැමිණෙන බව ද දක්වන්නේ යි. තවද පැහැදිලි තරත්හෝත අන්‍ධකාරය ඇති කල්හි පහන් ආලෝකය නො පවත්නා සේ යම් කාම කෙනෙකුන් ඇති කල්හි මේ ප්‍ර‍ථම ධ්‍යානය නො පවත්නේ ද, ඒ කාමයෝ මේ ප්‍ර‍ථම ධ්‍යානයට ප්‍ර‍තිපක්‍ෂයෝ ය. මෙතෙර හැරැපීමෙන් එතෙරට පැමිණීම සේ ඒ කාම පරිත්‍යාගයෙන් ම මේ ප්‍ර‍ථම ධ්‍යානයට පැමිණීම වන්නේ ය, යන නියමය මේ “ඒව” ශබ්දයෙන් හඟවන්නේ යයි දත යුතු.

 

මෙහිලා ප්‍ර‍ශ්නයෙකි. ඒව ශබ්දය උත්තරපදයෙහි ද නො දක්වා කුමක් හෙයින් පූර්‍වපදයෙහි පමණක් දක්වන ලද්දේ ද, කිම? අකුශල ධර්‍මයන්ගෙන් නො වෙන්වැ ද ධ්‍යාන උපදවා විසිය හැකි ද

 

එසේ නොසිතිය යුතු. කාම නිස්සරණ හෙයින් ම එය ප්‍ර‍ථම පදයෙහි යොදන ලදී. ධ්‍යාන වනාහි සියලු කාම භවයන්ගේ සමතික්‍ර‍මණයට ප්‍ර‍තිපත්ති බැවින් ද, ක්ලේශ කාමයට ප්‍ර‍තිපක්‍ෂ බැවින් ද, කාමයන්ගේ ම නිස්සරණය යි. “කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං”[195] යි. බුදුරජාණන් වහන්සේ ද වදාළ සේක. ‘නෙක්ඛම්මය යන යමෙක් වේ ද එය කාමයන්ගේ නිස්සරණය ය’ යනු එහි අර්‍ථ යි. මෙහි නෙක්ඛම්ම නම් ධ්‍යාන ය. (මෙයින් ව්‍යාපාදයට විරුද්‍ධ මෛත්‍රිය මෙන් ද, විහිංසාවට විරුද්‍ධ කරුණාව මෙන් ද ධ්‍යානයට කාමරාගය ඉඳුරා විරුද්‍ධ ය යි කී නියා දත යුතු)

 

තව ද “ඉධෙව භික්ඛවෙ සමණො ඉධදුතියො සමණො”[196] යනාදි දේශනා පාළියෙහි මෙන් මෙහි දු උත්තර පදයෙහිත් “ඒව” ශබ්දය යොදා කිය යුතු. කාමයන්ගෙන් පමණක් නොවේ. අන්‍ය නීවරණ සංඛ්‍යාත අකුශලයන්ගෙන් ද නො වෙන් වැ ධ්‍යාන උපදවා වසන්නට නො හැක. එහෙයින් “විවිච්චෙව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මෙහි” යි දෙපදයෙහි ම “ඒව” ශබ්දය යොදා ගත යුතුයි. එවිට කාමයන්ගෙන් වෙන්වැම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් වැම යන අර්‍ථය ලැබේ. (මහණෙනි, සෝවාන් මහණ ද මේ ශාසනයෙහි ම ය. දෙවන සකෘදාගාමි මහණ ද මේ ශාසනයෙහි ම ය යනු “ඉධෙව භික්ඛවෙ සමණො” යනාදි පාඨයෙහි අර්‍ථ යි.)

 

මේ දෙපදයෙහි දැක්වුණු විවිච්ච යන සාධාරණ වචනයෙන් තදඞ්ගවිවේක-විෂ්කම්භනවිවේක-සමුච්ඡේදවිවේක ද, චිත්තවිවේක-කායවිවේක-උපධිවිවේක යන ත්‍රීවිධවිවේක ද යන සියලු විවේකයෝ සංග්‍ර‍හ වෙති. එතකුදු වුවත් මේ ධ්‍යාන කථෘයෙහි කාය විවේක චිත්තවිවේක - විෂ්කම්භනවිවේක යන ත්‍රිවිධ විවේක පමණක් ඇතුළත් වන බව දත යුතු යි.

 

කාමෙහි යන මේ පදයෙන් “කතමෙ වත්‍ථුකාමා මනාපියා රූපා”[197] වස්තුකාම කවරේද මන වඩන රූප” යනාදීන් නිර්‍දෙශ පාළියෙහි දැක්වුණු වස්තුකාම ද

 

“ඡන්‍දො කාමො රාගො කාමො ඡන්‍දරාගො කාමො සඞ්කප්පො කාමො රාගො කාමො සඞ්කප්පරාගො කාමො ඉමෙ වුච්චන්ති කාමා”[198] යනාදීන් නිර්‍දෙශයෙහි හා විභඞ්ගයෙහි දැක්වුණු ක්ලේශකාම ද යන සියල්ල සඞ්ග්‍ර‍හ වන බව දත යුතු. “ඡන්‍දය කාමය රාගය කාමය, ඡන්‍දරාගය කාමය, සඞ්කල්පය කාමය, රාගය කාමය, සඞ්කල්ප රාගය කාමය, මොහු කාමයෝ යි කියනු ලැබෙත් යනු පාළියෙහි අර්‍ථ යි. (ප්‍රාර්‍ථනාකාරයෙන් ප්‍ර‍වෘත්ත වූ දුර්‍වල ලෝභය ඡන්‍දනාර්‍ථයෙන් ඡන්‍ද නම් වූයේ කැමති වන අර්‍ථයෛන් කාම නම් ව්. සෙස්සෙහි දු මෙමෙ නය යි එයට වඩා බලවත් ලොභය රඤ්ජනාර්‍ථයෙන් රාග නම් වේ. එයට වඩා බලවත් බහුල රාගය ඡන්‍දාරාග නම් වේ. නිමිත්තානුඛයඤ්ජනයන්ගේ සඞ්කල්පයට හේතු වූ ලෝභය සඞ්කල්පරාග නමි. එය වඩා බලවත් වූයේ රඤ්ජනාර්‍ථයෙන් රාග නම් වේ. සඞ්කල්ප වශයෙන් ප්‍ර‍වෘත්ත වෙසෙසින් බලවත් වූ ලෝභය සඞ්කල්පරාග නම් වේ යනු පැරකුම්බා සන්න ය.)

 

මෙසේ ගත් කල්හි “විවිච්චෙව කාමෙහි” යන්නෙන් “වස්තුකාමයෙන් වේන වැ මැ” යන අර්‍ථය ලැබේ. එයින් කාය විවේකය කියවේ. “විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යන්නෙන් “ක්ලේශ කාමයෙන් හා සියලු අකුශලයෙන් වෙන් වැ මැ” යන අර්‍ථය ලැබේ. එයින් චිත්ත විවේකය කියවේ. පළමු දැක්වුණු වස්තුකාම විවේක වචනයෙන් කාම සුඛ හැරැපීම ද, දෙවුන දැක්වුණු ක්ලේශ කාම විවේක වචනයෙන් ධ්‍යාන සුඛ ලැබැ ගැන්මද ප්‍ර‍කාශ විණි.

 

මෙසේ වස්තු කාම - ක්ලේශ කාම විවේකය කියවෙන හෙයින් ම මේ දෙපද අතුරෙන් පළමු වැන්නෙන් තෘෂ්ණාදි සංක්ලේශොත්පත්තියට හේතු වූ වස්තු දුරු කිරීම ද, දෙවැන්නෙන් ඒ සංක්ලේශ දුරු කිරීමද, එසේ ම පළමු වැන්නෙන් ලෝල භාව හේතු දුරු කිරීම ද, දෙවැන්නෙන් බාල භාව දුරු කිරීම ද, පළමුවැන්නෙන් කාම ගුණාධිගමයට හේතු වූ ප්‍රාණඝාතාදිය අශුද්ධ ප්‍රයෝග වන බැවින් එයින් වෙන්වීම් සංඛ්‍යාත ප්‍රයෝග ශුද්ධිය ද, දෙවැන්නෙන් තෘෂ්ණා සංක්ලේශ විශෝධනයෙන් හා විවපනිශ්‍ර‍ය ධ්‍යාන සංවර්‍ධනයෙන් වන ආශය පොෂණය ද, ප්‍ර‍කාශ කරන ලද්දේ යයි දත යුතු. “කාමෙහි” යි වදාළ කාම අතුරෙන් වස්තු කාම පක්‍ෂයෙහි ක්‍ර‍මය මෙසේ ය.

 

ක්ලේශකාම පක්‍ෂයෙහි ඡන්‍ද, රාග, කාමාසව, කාමරාග සංයොජන, රූපතෘෂ්ණා යනාදි නොයෙක් භේද ඇති කාමච්ඡන්‍දය කාමයයි කියන ලද්දේ ය. හේද අකුසලයෙහි සංග්‍ර‍හ වන නමුදු “තත්‍ථ කතමෙ කාමා ඡන්‍දො කාමො”[199] යනාදීන් විභඞ්ගයෙහි ධ්‍යානයට ප්‍ර‍තිපක්‍ෂ වන බැවින් අකුශල සාමාන්‍යයෙන් නො ගෙනැ වෙන් කොටැ ස්වරූපයෙන් දක්වන ලදි. ක්ලේශ කාම හෙයින් පූර්‍ව පදයෙහි හෝ අකුශල පර්‍ය්‍යාපන්ත බැවින් දෙවෙනි පදයෙහි හෝ වදාරන ලද්දේ යයි ද කිය යුතු. ඒ කාමය නොයෙක් භේද ඇති බැවින් “කාමස්මා”යි ඒක වචනයෙන් නො දක්වා “කාමෙහි”යි බහුවචනයෙන් දැක්වූහ. දිට්ඨි-මානාදි වූ සෙසු අකුසල ඇත ද, විභඞ්ගයෙහි “තත්‍ථ කතමෙ අකුසලා ධම්මා කාමච්ඡන්‍දො”[200] යනාදීන් නීවරණ ම අකුසල වශයෙන් දක්වන ලදී. ධ්‍යානාඞ්ගයන් තමන්ට විරුද්‍ධ වූවන්ට ප්‍ර‍තිපක්‍ෂ බව දැක්වීම් වශයෙනි.

 

ඒ එසේ මැයි :- නීවරණයෝ ධ්‍යානාඞ්ගයන්ට ප්‍ර‍තිපක්‍ෂයෝ ය. ධ්‍යානාඞ්ග විසින් නීවරණ වනසනු ලැබේ.

 

කියන ලද මැයි - පෙටකයෙහි - “සමාධි කාමච්ඡන්‍දස්ස පටිපක්ඛො, පීති ව්‍යාපාදස්ස, වීතක්කො ථීන මිද්ධස්ස, සුඛං උද්ධච්ච-කුක්කුච්චස්ස, විචාරො විචිකිච්ඡාය”යි ‘සමාධි සංඛ්‍යාත ඒකග්ගතාව කාමච්ඡන්‍දයට ප්‍රීතිය ව්‍යාපාදයට ද විතර්‍කය ථීන මිද්ධයට ද, සුඛය උද්ධච්ච-කුක්කුච්චයට ද, විචාරය විචිකිච්ඡාවට ද විරුද්ධය, යනු එහි අර්‍ථ යි.

 

මෙසේ මේ “විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි”[201] යන දෙපද අතුරෙන් “විවිච්චෙව කාමෙහි” යන පදයෙන් කාමච්ඡන්‍දයාගේ විෂ්කම්භන විවේකය ද, “විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යන පදයෙන් පඤ්චනීවරණයන්ගේම විෂ්කම්භන විවේකය ද කියවිණි.

 

තව ද අගහිත ගහණ වශයෙන් ගතහොත් (අගහිත ගහණ න්ම මුල පෙදෙන් නොගත් දේ පසු පෙදෙන් ගැන්මයි) පළමු වන “විවිච්චෙව කාමෙහි” යන පදයෙන් කාමච්ඡන්‍ද නීවරණයාගේ ද, දෙවන “විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යන පදයෙන් කාමච්ඡන්‍දය හැරැ ව්‍යාපාදාදි සෙසු සතර නීවරණයන්ගේ ද, විෂ්කම්භන විවෙකය කියන ලද්දේ ය. එසේම පළමු පෙදෙන් ත්‍රිවිධ අකුශල මූල අතුරෙහි පඤ්චකාම ගුණ භේද විෂයක ලෝභයාගේ ද, දෙවන පෙදෙන් ආඝාත වස්තු භේදාදි විෂයක ද්වේෂ මෝහයන්ගේ ද, එසේ ම ඕඝ අතුරෙහි පළමු පෙදෙන් කාමොඝයාගේ ද, දෙවන පෙදෙන් භවාදි සෙසු ත්‍රිවිධ ඕඝයන්ගේ ද, යෝග අතුරෙහි පළමු පෙදෙන් කාම යෝගයාගේ ද, දෙවන පෙදෙන් භවාදි සෙසු ත්‍රිවිධ යෝගයන්ගේ ද, ආසව අතුරෙහි පළමු පෙදෙන් කාමාසවයාගේ ද, දෙවන පෙදෙන් භවාදි සෙසු ත්‍රිවිධ ආසවයන්ගේ ද, උපාදාන අතුරෙහි පළමු පෙදෙන් කාමුපාදානයාගේ ද, දෙවන පෙදෙන් දිට්ඨාදි සෙසු ත්‍රිවිධ උපාදානයන්ගේ ද, කායග්‍ර‍න්‍ථ අතුරෙහි පළමු පෙදෙන් අභිජ්ඣා කාය ග්‍ර‍න්‍ථයාගේ ද, දෙවන පෙදෙන් ව්‍යාපාදාදි සෙසු ත්‍රිවිධ කාය ග්‍ර‍න්‍ථයන්ගේද, සංයෝජන අතුරෙන් පළමු පෙදෙන් කාම රාග සංයොජනයාගේ ද, දෙවෙන පෙදෙන් සෙසු රූපරාගාදි නවවිධ සංයෝජනයන්ගේ ද, භව මූල අතුරෙහි පළමු පෙදෙන් තෘෂ්ණාවගේ හා තත් සම්ප්‍ර‍යුක්තයන්ගේ ද, දෙවෙන පෙදෙන් අවිද්‍යාවගේ හා තත් සම්ප්‍ර‍යුක්තයන්ගේ ද, අකුසල සිත් අතුරෙහි පළමු පෙදෙන් ලෝභ සම්ප්‍ර‍යුක්ත අෂ්ටවිධ අකුසල චිත්තයන්ගේ ද, දෙවන පෙදෙන් දෝෂ = මෝහ සම්ප්‍ර‍යුක්ත සෙසු චතුර්විධ අකුසල චිත්තයන්ගේ ද විෂ්කම්භන විවේකය කියන ලදැ යි දත යුතු යි.

 

“විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි”

යන මේ පදයන්ගේ අර්‍ථ ප්‍ර‍කාශය යි.

 

මෙතෙකින් ප්‍ර‍ථම ධ්‍යානය පිළිබඳ ප්‍රහාණාඞ්ග දක්වා ඉක්බිති සම්ප්‍රයොගාඞ්ග දක්වන්නට “සවිතක්කං සවිචාරං” යනාදිය වදාළේ ය. විතර්‍ක සහිත වූ විචාර සහිත වූ යනු එහි අර්‍ථ යි.

 

විතර්‍ක - විචාර විභාගය

 

විතර්‍ක නම් විතර්‍කනය = ඌහනය සිත අරමුණට එළවීම ය. එහි ලක්‍ෂණය සිත අරමුණට නැංවීම ය. රසය ආහනන පරියාහනනය හෙවත් සිත අරමුණෙහි පැහැරීම වෙසෙසින් පැහැරීම ය.

 

ඒ එසේ මැයි - විතර්‍කය කරණ කොටැ යෝගාවචරයා, සිත විතක්කාහත - විතක්ක පරියාහත කරන්නේ යයි කියනු ලැබේ. පච්චුපට්ඨානය අරමුණට සිත පැමිණවීම ය. (විතර්‍කය නැති දෙපස් විඤ්ඤාණයෝ වස්තු - ආලම්බනයන්ගේ සංඝට්ටන බලයෙන් ද, ද්‍විතීයධ්‍යානාදීහු යට යට භාවනා බලයෙන් ද අරමුණට නැගෙති යි දත යුතු.)

 

විචාර නම් විවරණය හෙවත් විතර්‍කයට ඉක්බිති වැ අරමුණෙහි හැසිරීම යි. එහි ලක්‍ෂණය අරමුණ පිරිමදනා බව ය. රසය සහජාත ධර්‍මයන් අරමුණෙහි අනුවිචරණ වශයෙන් යොදන බව යි. පච්චුපට්ඨානය අරමුණෙහි සිත නො සිඳීමක් මෙන් පවත්නා බව යි.

 

විතර්‍කය හා විචාරය ඇතැම් සිතෙක (සවිතක්ක = සවිචාර සිත්හි) නො වෙන් වැ එකවිටම යෙදෙන්නේ නමුදු විතර්‍කය විචාරයට වඩා ඖදාරික බැවින් ද; ස්වකීය බලයෙන් සිත අරමුණට නැඟෙන හෙයින් විචාරයට පූර්‍වඞ්ගම බැවින් ද, ඝණ්ටාවට ගැසීමේ දී ආදි කොටැ නැඟෙන රාවය මෙන් චිත්තයාගේ ප්‍ර‍ථමාභිනිපාතය යි. විචාරය වනාහි සූක්‍ෂම භාවයෙන් හා අනුසඤ්චරණ භාවයෙන් ඝණ්ටාවගේ අනුරාවය මෙන් චිත්තයාගේ අනුප්‍ර‍බන්‍ධය යි.

 

තවද චලනවත් විතර්‍කය සිත උපදනා කල්හි ඒ සිතෙහි පළමු කොටැ මැ වන පොපියුමක් (සෙලවුමක්) බඳුය. අහසට නැඟෙනු කැමැති පක්‍ෂියාගේ පියාපත් ගැසීම මෙනැයි ද; සුවඳ අසා යන භ්‍ර‍මරයාගේ පද්මාභිමුඛපාතය මෙනැ යි ද සලකනු. ශාන්ත පැවතුම් ඇති විචාර වනාහි චිත්තයාගේ අතිශයයෙන් ම පොපියුම් (සෙලවුම) නැති බව ය. අහසෙහි ගමන් ගත් පක්‍ෂියාගේ පියාපත් විදහීම මෙනැ යි ද, පද්මාභිමුඛයෙහි පතිත භ්‍ර‍මරයාගේ ඒ පද්ම මතුයෙහි පරිභ්‍ර‍මණය මෙනැ යි ද දත යුතු.

 

දුක නිපාත අටුවායෙහි මෙය මෙසේ දක්වති. අහසෙහි ගමන් ගත් ගිජුලිහිණි දෙපියා සඟලින් සුළං අවුරා පියාපත් සංසිඳුවා ගෙන යන්නා සේ ආරම්මණයෙහි සිත අභිනිරෝපන භාවයෙන් පැවැත්ම විතර්‍කය යි. ඒ වනාහි එකඟ වැ පමුණු වන්නේ ය. ඒ ලිහිණි සුළං ගන්නා පිණිස පියාපත් පහරමින් යන්නා සේ අරමුණු පිරිමදිනා ස්වභාවයෙන් පැවැත්ම විචාරය යි. ඒ වනාහි අරමුණ පිරිමදින්නේ ය යනුයි. (කුඩා ලිහිණියාගේ පියා පෙළීම බඳු යයි පොපි ඇති හෙයින් විතර්‍කය ඖදාරික බව කීහු. මහ ලිහිණියාගේ පියා සන්සිඳුවා යන ගමන බැවිනැ යි වේග ඇති බැවින් විතර්‍කය ඖදාරික සේ කීහු. කුඩා ලිහිණියාගේ පියා පැහැරීම බඳු යයි මඳ වේග ඇති සෙයින් විචාරය ශාන්ත සේ මැ කීහ. මහ ලිහිණියාගේ පියා පොළඹින් යන ගමන මෙනැ යි මඳ පොපි ඇති සෙයින් විචාරයාගේ ශාන්ත සේ මැ කීහු” යනු පැරකුම්බා සන්නයි)

 

ගිජුලිහිණි උපමාව උපචාරයෙහි වත් අර්පණායෙහි වත් සන්තාන වශයෙන් පවත්නා කල්හි යෙදෙන්නේ ය. මේ විතර්‍ක = විචාරයන්ගේ වෙනස ප්‍ර‍ථම - ද්විතීය ධ්‍යානයෛහි ප්‍ර‍කට ය. (විතර්‍කයාගේ අභිනිරෝපනාකාර සඞ්ඛ්‍යාත විශේෂය ප්‍ර‍ථම ධ්‍යානයෙහි ප්‍ර‍කට වෙයි. විතර්‍කයාගේ අභාවයෙන් පඤ්චකනයයෙහි ද්විතීය ධ්‍යානයෙහි විචාරයාගේ අනුමජ්ජනාකාර විශේෂය ප්‍ර‍කට වේ.)

 

තවද මල බැඳුණු ලොහො වළඳ එක් අතකින් තරයේ ගෙනැ අනිත් අතින් සුණු තෙලින් යුත් ලොම්සුඹුළුයෙන් (බුරුසුවෙන්) පිරිමදනා කල තරයේ ගත් අත බඳු ය. විතර්‍ක ය. පිරිමදනා අත බඳු ය විචාරය. එසේ මැ කුම්භකාරයා දඬුපහරින් සක බමවා වළංකරන කල මැටි පිඬ පෙළා ගත් අත බඳු ය විතර්‍ක ය. ඔබ මොබ හසුරුවන අත බඳුය විචාරය. එසේ මැ ලොහො බඳුන් ආදියෙහි වට රෙඛා කරන්නහු මැද ඔබා ගෙනැ සිටින කටුව බඳු ය අභිනිරෝපන ලක්‍ෂණ විතර්‍ක ය. පිටත්හි කව ගහන කටුව බඳුය අනුමජ්ජන ලක්‍ෂණ විචාරය. මෙසේ මෙබඳු විතර්‍කයෛන් හා විචරණයෙන් යුත් ධ්‍යානය පුෂ්පයෙන් හා ඵලයෙන් සෑදුණු වෘක්‍ෂය මෙන් සවිතක්ක - සවිචාරය යි කියනු ලැබේ. (“යම් සේ පුෂ්ප ශාඛාදි අවයවයෙන් විනිර්මුක්ත වැ අවිද්‍යාමානද වූ වෘක්‍ෂය සපුෂ්පඵල යයි කියනු ලැබේ ද, මෙසේ මැ විතර්‍කාදි අඞ්ග විනිර්මුක්ත වැ අවිද්‍යමාන ද වූ ධ්‍යානය සවිතර්‍කය සවිචාරය යි ව්‍යවහාර කරනු ලැබෙයි හඟවන පිණිස “වෘක්‍ෂය මෙන්” යනාදිය කථිතය යි දත යුතු.” යනු පැරකුම් සන්න යි.)

 

විභඞ්ඟියෙහි දී “ඉමිනා ච විතක්කෙන ඉමිනා ච විචාරෙන උපෙතො හොති සමුපෙතො”[202] ‘මේ විතර්‍කයෙන් ද මේ විචාරයෙන් ද උපෙත වූයේ වේ, සමුපෙත වූයේ වේ’ යනාදින් පුද්ගලාධිෂ්ඨාන වශයෙන් මෙය දේශනා කරන ලද්දේ ය. එහි දු අර්‍ථය මෙබඳු ම යැයි දත යුතු.

 

“විචෙක ජං = විවෙකයෙන් නිපන් නොහොත් විවෙකයෙහි නිපන්” මෙහි විවේක නම් නීවර්ණ පහවීමය. එයින් (ඒ නීවරරණ පහවීමෙන්) නිපන්නේ විචෙකජ ය නොහොත් විවේක නම් නීවරණයන්ගෙන් පහවූයේ යැ - එනම් ධ්‍යාන - සම්ප්‍ර‍යුක්ත ධර්‍මරාශිය යි. එහි (-නීවරණයන්ගෙන් පහ වූ ධර්‍මරාශි සඞ්ඛ්‍යාත විවේකයෙහි) නිපන්නේ හෝ විවෙකජ ය.

 

“පීති සුඛං = ප්‍රීති හා සැප ඇති”

 

මෙහි කාය - චිත්ත පිණවන්නේ ප්‍රීති ය. (පීණයතීති පීති.) එහි ලක්‍ෂණය අරරමුණ ප්‍රිය වශයෛන් දක්නා බව ය. රසය චිත්ත කාය පිණවන බව ය. නොහොත් පැතිරන බව ය. (“උපන් තැනින් කෙසගක් පමණ තැන් සඞ්ක්‍ර‍මණයෙක් නැද්ද ආන්මජ රූප කිරීමෙන් තෙමේ ද පැතිරෙනු නම් වී” යනු පැරකුම් සන්න යි.) පච්චුපට්ඨානය ඔද වඩනා බව ය.

 

ප්‍රීති විභාගය

 

ඒ මේ ප්‍රීති විභාගය ඛුද්දික පීති, ඛණික පීති, ඔක්කන්තීක පීති, උබේබග පීති, එරණ පීතිය යි පඤ්චවිධ වේ.

 

මෙයින් ඛුද්දක පීතිය - ශරීරයෙහි ලොමුදහ ගැන්වීම් මාත්‍ර‍යක් කරන්නට සමර්‍ථ ය. (ඛුද්දික පීති නම් කුඩා ප්‍රීතිය)

 

ක්‍ෂණික ප්‍රීතිය - ක්‍ෂණ ක්‍ෂණයෙහි විදුලි කෙටීමක් සේ ක්‍ෂුද්‍ර‍ ප්‍රීතියටට වඩා බලවත් ව උපදී.

 

ඔක්කන්තික පීතිය - මුහුදු වෙරළ පැතිරෙන මුහුදු රළ සෙයින් ශරීරය පිනවමින් පැතිරැ බිඳෙයි. (මෙය ඔකඳකෙළි කෙළවන ක්‍ෂණික ප්‍රීතියට වඩා බලවත් එකෙකි.)

 

උබේබගපීතිය - එයටත් වඩා බලවත් ය. කය උඩගෙන ගොස් අහසෙහි නඟාපියන පමණට පමුණුවයි.

 

ඒ එසේ ම ය - පුණ්ණාගල්ල (පණගල) නම් විහාරවාසී මහාතිස්ස තෙරුන් වහන්සේ පසළොස්වක පොහෝදා සවස එහි චෛත්‍ය මලුවට පැමිණැ සඳ එලිය දැක රුවන් වැලි සෑ දිශාවට හැරී “එකාන්තයෙන් මේ වේලායෙහි සිව් පිරිස මහ සෑය වඳිති”යි පෙර මහා සෑයෙහි පූජා දුටු විරූ හෙයින් බුද්ධාරම්මණ උබේබග පීති උපදවා සුණුබිම ගැසූ විසිතුරු පන්දුවක් සේ අහසට නැඟී මහ සෑ මළුයෙහි පිහිටි සේක.

 

එසේ ම ගිරිහඬුමහවෙහෙරට සමීප වත්තකාල නම් ගම්වැසි එක් කුලදුහිතෘවක් බලවත් වූ බුද්ධාලම්භන උබේබග ප්‍රීතියෙන් අහස නැංගාය. ඒ මෙසේ ය.

 

කුලදුවකගේ උද්වේග ප්‍රීතිය

 

ඇයගේ මව්පියෝ එක් දවසෙක සවස බණ අසනු සඳහා විහාරයට යන්නට සැරසී ‘දුවණියනි! ඔබ ගර්භිණීය. අවේලායෙහි ඇවිදීම නුසුදුසු ය. අපි ඔබ ද සිහිපත් කොටැ බණ අසම්හ”යි කියා නැඟී ගියාහ. ඕ තොමෝත් යායැටි වුව ද මව්පියන්ගේ වචනය ඉක්මවන්නට අසමර්‍ථ වැ ගෙදොර රඳා මිදුලේ සිටැ සඳ පහනින් ගිරිහඬුයෙහි ආකාශ චෛත්‍ය මලුව බලන්නී එහි පහන් පූජාව දුටුවා ය. සිව් පිරිස සුවඳ මලින් සෑය පුදා පැදකුණු කරති. භික්‍ෂුසංඝයාගේ ගණසජ්ඣායනා ශබ්දය ද ඇසේ. “විහාරයට ගොස් මෙබඳු සෑ මලුවෙක ඇවිදින්නට මෙ බඳු මධුර ධර්‍මකථා අසන්නට ලැබුවෝ අහෝ එකාන්තයෙන් මහා පිනැත්තෝ ය”යි මුතු රැසක් බඳු චෛත්‍යය බලත් ම ඇයට උබේබග ප්‍රීතිය උපන. ඕ අහස නැඟී මව්පියන්ට පෙරාතුවම ආකාශ චෛත්‍යාඞ්ගණයෙහි බැස සෑය වැඳැ බණ අසමින් සිටියාය. මව්පියෝ අවුත් විස්මිත වැ “දරුව උඹ කවර මඟකින් අවුද”යි විචාළහ. ‘මම අහසින් ආමි. මඟකින් නො ආමි”යි ඕ කීවා ය. “දරුව අහසින් යන්නෝ රහතන්වහන්සේ ය. උඹ කෙසේ අවුදැ”යි නැවත කී කල “සඳ පහනින් චෛත්‍යය දිශාව බලාගෙනැ සිටි මට බලවත් වූ බුද්ධාරම්මණ ප්‍රීතියෙක් පහළ විය. එයින් මම මා උන් සිටි බව නො දත්තෙමි. ගත් අරමුණින් ම අහස නැඟැ සෑ මලුයෙහි පිහිටියෙහි”යි ඕ කීවාය. මෙසේ උබේබග ප්‍රීතිය නඟා පියන තරම් ය.

 

එරණ ප්‍රීතිය - උපන් කල සකල ශරීරය පිඹ පිරූ විතක් මෙන් ද, මහා ජල ප්‍ර‍වාහයකින් පිරුණු පර්‍වත කුක්‍ෂියක් මෙන් ද, හාත්පසින් ස්පර්‍ශ කරන ලද්දේ වේ.

 

මේ පංචවිධ ප්‍රීති ගැබ් ගැනීමෙන් - මිහිකිරීමෙන් කාය පස්සද්ධි - චිත්තපස්සද්ධි යන ද්විවිධ පස්සද්ධි පුරන්නේ ය. පස්සද්ධි ගැබ් ගැනීමෙන් - මිහි කිරීමෙන් කායික චෛතසික ද්විවිධ සුඛ පුරන්නේ ය. ඒ සුඛ ගැබ් ගැනීමෙන් - මිහි කිරීමෙන් ක්‍ෂණික සමාධි, උපචාරසමාධි, අර්පණාසමාධි යන ත්‍රිවිධ සමාධි ද පුරන්නේ ය. ඒ ත්‍රිවිධ සමාධි අතුරෙන් අර්පණාසමාධියට මුල් වැ වැඩෙන සමාධි සම්ප්‍ර‍යුක්ත යම් එරණ ප්‍රීතියෙක් වේ ද එය “පීති - සුඛං” යන මෙහි ලා ප්‍රීතිය යි අදහස් කරන ලදී.

 

සුඛං” සුඛ නම් සුවය. “සුට්ඨු වා ඛාදති ඛණති ච කායචිත්තා බාධන්ති සුඛං” යනු එහි විග්‍ර‍හ ය. “යම් ධර්‍මයෙක් කාය චිත්තා - බාධ මනා වැ කා දමන්නේ ද සාරාදමන්නේ ද එය සුඛ නම් වේ” යනු එහි අර්‍ථ යි. එහි ලක්‍ෂණය සාත බව ය. - හෙවත් ශීතල මධුර ස්වභාව ය. රසය සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් වඩනා බව ය. පච්චුපට්ඨානය සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට අනුග්‍ර‍හ කරන බවයි.

 

මේ ප්‍රීති හා සුඛ ප්‍ර‍ථමධ්‍යානාදි කිසියම් සිතෙක නො වෙන්ව එකවට යෙදෙන්නේ නමුදු ඉෂ්ටාලම්භන ප්‍ර‍තිලාභ වශයෙන් උපදනා තුෂ්ටිය ප්‍රීති නමි. ලත් ආලම්බන රසානුභවය සුඛ නමි. ප්‍රීති ඇති තැනැ සුඛය ද ඇත්තේ ය. එහෙත් සුඛ ඇති තැනැ නියමයෙන් ප්‍රීති ඇතැ යි නොකිය යුතු. ප්‍රීතිය සංස්කාර ස්කන්‍ධයට ඇතුළත් ධර්‍මයෙක. සුඛය වේදනා ස්කන්‍ධයට ඇතුළත් ධර්‍මයෙක. ප්‍රීතිය වනාහි කාන්තාර ගමනින් විඩාවට පත් පුරුෂයකුහට වනය හෝ ජලය දැකීමෙහි දී ද ඇසීමෙහිදී ද ඇති වන ස්වභාවය බඳු ය. සුඛය ඒ වන සෙවනට පැමිණීමෙහි දී හා ජලය පරිභෝග කිරීමෙහි දී ඇතිවන ස්වභාවය බඳු ය. ඒ ඒ අවස්ථායෙහි ප්‍ර‍කට බැවින් මෙසේ කියන ලදැයි දත යුතු.

 

මේ ප්‍රීතිය ද මේ සුඛය ද යම් ධ්‍යානයකට හෝ යම් ධ්‍යානයෙක ඇත්නම් ඒ ධ්‍යානය “පීති - සුඛ” ය යි කියනු ලැබේ නොහොත් ධර්‍මය ද විනය ද ධර්‍මවිනය වූ සේ ප්‍රීතියත් සුඛයත් ප්‍රීතිසුඛය. විවේකයෙන් ජනිත ප්‍රීති - සුඛ යම් ධ්‍යානයකට හෝ යම් ධ්‍යානයෙක හෝ ඇත්නම් ඒ ධ්‍යානය විභක්ත්‍යලොප වශයෙන් “විවෙකජ - පීතිසුඛ” වේ. මෙසේ ගත් කල්හි ධ්‍යානය සේම ප්‍රීති-සුඛ ත් විවේකයෙන් ජනිත වූයේ වේ. ආදියෙහි ‘විවෙකජං පීතිසුඛං” යි දෙපදයක් කොටැ ගත් සේ ම මේ අර්‍ථයෙන් “විවෙකජං-පීතිසුඛං”ය යි එක පදයක් වශයෙන් ගත ද වරද නො වේ. විභඞ්ගයෙහි දී වනාහි “ඉදං සුඛං ඉමාය පීතියා සහගතං”[203] මේ සුඛය මේ ප්‍රීතියෙන් යුක්ත ය’ යනාදි ක්‍ර‍මයෙන් වදාළේ ය. එහි දු අර්‍ථය මෙසේ මැ දත යුතු යි.

 

පඨමං ඣානං = ප්‍ර‍ථම වූ ධ්‍යානය. මෙය මතු ප්‍ර‍කාශ වේ.

 

උපසම්පජ්ජ = එළඹැ - පැමිණ තව ද උපසම්පජ්ජයන්නට ලබාගෙනැ - නිපදවා ගෙනැ යන අර්‍ථය ද කිය හැකි ය. විභඞ්ගයෙහි “උපසම්පජ්ජ‘ති පඨමස්ස ඣානස්ස ලාභො පටිලාභො පත්ති සමාපත්ති පස්සනා පච්ඡිකිරියා උපසම්පදා”[204] යි වදාරන ලදි. උපසම්පජ්ජ යනු ප්‍ර‍ථම ධ්‍යානය ලැබීම - මනා වැ ලැබීම - පැමිණීම - මනා වැ පැමිණීම නුවණින් දැක්ම - සාක්‍ෂාත් කිරීම උපදවීම යනු එහි අර්‍ථ යි.

 

විහරති = වාසය කරයි - ධ්‍යානයට සුදුසු ඉරියව්වෙන් යට දැක්වූ පරිදි ධ්‍යානයෙන් යුක්ත වැ ආත්මභාවයාගේ පැවැත්ම කෙරෙ යි කී නියා ය. “විහරති ති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති තෙන වුච්චති විහරති.”[205] යනු විභඞ්ග යි.

 

“පඤ්චාඞ්ග ප්‍ර‍හීණ පඤ්චාඞ්ග සමන්නාගත වූ”යි කියූ තන්හි ප්‍ර‍හීණ වන පඤ්චාඞ්ග නම් කාමච්ඡන්‍ද, ව්‍යාපාද-ථීනමිද්ධ, උද්ධච්ච-කුක්කුච්ච, විචිකිච්ඡා යන මොහු ය. මොවුන් ප්‍ර‍හීණ නො වුවහොත් ධ්‍යානයෙක් න්ම කැල ම නූපදනේ ය. එබැවින් මේ පස ධ්‍යාන පිළිබඳ ප්‍ර‍හීණාඞ්ගය යි කියනු ලැබේ. ධ්‍යාන ක්‍ෂණයෙහි ප්‍ර‍හීණ වන්නේ මේ පස පමණෙක් ද නැත. අන්‍ය වූද අකුශල ධර්‍මයෝ ප්‍ර‍හීණ වෙති. එතකුදු වුව ද මේ පස විශේෂයෙන් ම ධ්‍යානයට අන්තරායකර ය.

 

ඒ එසේ මැ යි - කාමච්ඡන්‍දයෙන් නොයෙක් අරමුණෙහි පෙළඹී ගිය සිත ඒකාග්‍ර‍තාරම්මණයෙහි සමාහිත නොවේ. එසේ ම කාමච්ඡන්‍දාහිභූත සිත කාමධාතු ප්‍ර‍හාණ ප්‍ර‍තිපත්ති පිණිස ද නොපවත්නේ යඤ ව්‍යාපාදයෙන් අරමුණෙහි ගැටෙන සිත නිරතුරුව නො පවත්නේ ය. ථීනමිද්ධයෙන් අතිභූත වූ සිත කර්‍මන්‍ය නො වන්නේ ය. ‘භාවනා කර්‍මයට යෝග්‍ය නොවේ යයි සේ යි. උද්ධච්චකුක්කුච්චයෙන් පීඩිත වූ සිත නො සන්සුන් බැවින් ම අරමුණෙහි භ්‍ර‍මණය කරන්නේ ය. විචිකිච්ඡායෙන් උපහත වූ සිත ධ්‍යානාධිගම සාධක ප්‍ර‍තිපත්තියට නො නඟින්නේ ය. මෙසේ විශේෂයෙන් ධ්‍යානාන්තරායකර බැවින් මේ පඤ්ච නීවණයෝ ප්‍ර‍හාණඞ්ගයෝ යයි කියන ලදු.

 

සමන්තාගත අඞ්ග

 

විතර්‍කය සිත අරමුණට නඟන්නේ ය. විචාරය සිත අරමුණෙහි බඳින්නේ ය. මේ විතර්‍ක විචාර යෝගයෙන් සිතෙහි අවික්‍ෂේප භාවය - තැන්පත් බව සිද්ධ වේ. අවික්‍ෂේප සම්පත් ලැබීමෙන් ප්‍රීතිය සිත පීණනය කෙරේ. සුඛය සිත සුවපත් කෙරේ. මෙසේ මේ විතර්‍ක-විචාර-ප්‍රීති සුඛයන්ගෙන් අනුග්‍ර‍හය ලත් එකග්ගතාව ඵස්සාදි සෙසු චෛතසික සහිත සිත ඒකග්ගතා රම්මණයෙහි සම වැ මනා කොටැ පිහිටුවන්නේ ය. එ බැවින් මේ විතර්‍ක - විචාර - ප්‍රීති - සුඛ - ඒකග්ගතා යන පඤ්ච ධර්‍ම උපදීම් වශයෙන් පඤ්චාඞ්ග සමන්වාගතත්‍වය දත යුතු. මේ පස උපන් කල්හි ධ්‍යානය උපන්නේ නම් වේ. එහෙයින් මේ පස සමන්නාගත අඞ්ගයයි කියනු ලැබේ. මේ පසින් යුක්ත වූ ධ්‍යාන නම් අනෙකෙක් ඇතැයි නො සිතිය යුතු. චතුරඞ්ගිනී සේනා, පඤ්චාඞ්ගික තූර්‍ය්‍ය, ‘අෂ්ටාඞ්ගික මාර්‍ගය, යි කී කල්හි අඞ්ගයෙන් විනිර්මුක්ත සේනාවෙක් හෝ තූර්‍ය්‍යයෙක් හෝ මාර්‍ගයෙක් හෝ නැත්තේ ය. අඞ්ග මාත්‍ර‍ වශයෙන් ම එසේ කියන්නේ ය. මේ ද එබඳුය යි දත යුතු.

 

මේ පඤ්චාඞ්ගයෝ උපචාර ක්‍ෂණයෙහි දු වෙති. එසේ වුව ද ඔව්හු එහි දී (උපචාරයෙහි දී) ප්‍ර‍කෘති කාමාවචර චිත්තයෙහිදීට වඩා අතිශයයෙන් බලවත් ය. මෙහි දී වනාහි උපචාරයෙහිදීටත් වඩා අතිශයයෙන් බලවත් වැ රූපාවචර ලක්‍ෂණයට පැමිණෙති.

 

ඒ එසේ මැ යි - මෙහි විතර්‍කය අතිවිශද වශයෙන් ම සිත අරමුණට නඟිමින් උපදින්නේ ය. විචාරය අතිශයයෙන් ම  අරමුණ පිරිමදිමින් උපදින්නේ ය. ප්‍රීති හා සුඛ මුළු ශරීරය පතුරමින් උපදින්නේ ය. “නාසය කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීති සුඛෙන අප්ඵුටං හොති”[206] යි එ හෙයින් වදාළ සේක. “ඔහුගේ ශරීරයෙහි විවේකජ ප්‍රීති සුඛයෙන් නො පහරන ලද කිසි තැනෙක් නැත” යනු එහි අර්‍ථ යි. එකග්ගතාව ද කරඬුවෙක උඩු පියන් පත යට පතෙහි මෙන් අරමුණෙහි සුඵස්සිත වැ උපදින්නේ ය. මේ කීයේ මෙහි විතර්‍කාදිය පිළිබඳ අන්‍යස්ථානයන්ට වඩා ඇති විශේෂය යි.

 

“සචිතක්කං සවිචාරං විවෙකජං පීති සුඛං පඨමං ඣානං”[207] යන පාඨයෙහි එකග්ගතාව ස්වරූප වශයෙන් අඞ්ගයක් කොටැ නො වදාරන ලදුවත් “ඣානං ති විතක්කො විචාරො පීති සුඛං චිත්තෙකග්ගතා”[208] යි විභඞ්ගයෙහි වදාළ බැවින් අඞ්ගයෙක් ම ය. යම් අදහසකින් බුදුරජාණන් වහන්සේ උද්දේස කරන ලද්දේ ද ඒ අදහස ම විභඞ්ගයෙහි ප්‍ර‍කාශ කරන ලද්දේ ය. (සවිතක්කං සවිචාරං යනාදි උද්දෙසයෙහි අභිප්‍රාය මැ “විත්තකා විචාරො” යනාදියෙන් ප්‍ර‍කාශ කරන ලදී. එසේ බැවින් උද්දේසයෙහි නැතැ යි නො සැලකිය යුතු ය. විතක්ක විචාර ඇත්තේ පීති-සුඛ ඇත්තේ යනුයෙහි මැ අභිප්‍රාය විසින් සමාධිය මැ කි වෙති” යි සැලකිය යුතු ය යනු සන්න යි.)

 

“ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්‍ෂණයෙන් සමන්විත වූ” යන මෙහි ආදි-මධ්‍ය-අවසාන වශයෙන් ත්‍රිවිධ කල්‍යාණය ද, ඒ ආදි-මධ්‍ය අවසානයන්ගේ ම ලක්‍ෂණ වශයෙන් දශ ලක්‍ෂණ ද දතයුතු.

 

ඒ පිළිබඳ දේශනා පාළිය මෙසේ ය.

 

“පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, උපෙක්ඛානුබ්‍රෑහණා මජ්ඣෙ, සම්පහංසනා පරියොසානං.”

 

පඨමස්ස ඣානස්ස පටිපදා විසුද්‍ධි ආදි ආදිස්ස කති ලක්ඛණානි? ආදිස්ස තීණි ලක්ඛණානි. යො තස්ස පරිපන්‍ථො තතො විත්තං විසුජ්ඣති, විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථ නිමිත්තං පටිපජ්ජති, පටිපන්නත්තා තත්‍ථ චිත්තං ජක්ඛන්‍දති. යඤ්ච පරිපත්‍ථතො චිත්තං විසුජ්ඣති, යඤ්ච විසුද්ධත්තා චිත්තං මජ්ඣි මං සමථ නිමිත්තං පටිපජ්ජති, යඤ්චපටිපන්නත්තා තත්‍ථ චිත්තං පක්ඛන්‍දති, පඨමස්ස ඣානස්ස පටිපදා විසුද්‍ධි ආදි ආදිස්ස ඉමානී තීණි ලක්ඛණානි, තෙන වුච්චති පඨමං ඣානං ආදිකල්‍යාණ ඤ්චෙව හොති තිලක්ඛණ සම්පන්නං ච.

 

පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්‍රෑහණා මජ්ඣෙ, මජ්ඣස්ස කති ලක්ඛණානි? මජ්ඣස්ස තිණි ලක්ඛණානි-විසුද්‍ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, සමථ පටිපන්නං අජ්ඣුපෙක්ඛති, එකත්තු පට්ඨාන අජ්ඣුපෙක්ඛති, යං ච විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, යං ච සමථ පටිපන්නං අජ්ඣුපෙක්ඛති, යඤ්ච එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති, පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්‍රෑහණා මජ්ඣෙ. මජ්ඣස්ස ඉමානි තිණි ලක්ඛණානි. තෙන වුච්චති පඨමජ්ඣානං මජ්ඣෙකල්‍යාණං චෙව හොති තිලක්ඛණ සම්පන්නං ච.

 

පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං පරියොසානස්ස කති ලක්ඛණානි? පරියොසානස්ස චත්තාරි ලක්ඛණානි. තත්‍ථ ජාතානං ධම්මානං අනතිවත්තකට්ඨෙන සම්පහංසනා, ඉන්‍ද්‍රියානං එකරස්ඨෙන සම්පහංසනා, තදුපගවිරිය වාහනට්ඨෙන සම්පහංසනා, ආසෙවනට්ඨෙන සම්පහංසනා, පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානා, පරියොසානස්ස ඉමානි චත්තාරි ලක්ඛණානි, තෙන වුච්චති පඨමං ඣානං පරියොසාන කල්‍යාණඤ්චෙව හොති චතු - ලක්ඛණසම්පන්තං චාති.

 

මෙහි සංක්‍ෂිප්ත අදහස මෙසේ ය.

 

ත්‍රිවිධ කල්‍යාණය

 

1. ප්‍ර‍ථම ධ්‍යානයාගේ ආදි කල්‍යාණය ප්‍ර‍තිපදා විශුද්ධිය යි, (ගොත්‍ර‍භු අවසන් කොට ඇති භාවනා විෂය ප්‍ර‍තිපදා නම් වේ. ඒ ප්‍ර‍තිපදාව පිළිබඳ උපද්‍ර‍වයන්ගෙන් විශුද්‍ධවීම ප්‍ර‍තිපදා විශුද්‍ධිය යි. එය ධ්‍යානයාගේ උත්පාදක්‍ෂණයෙහි ලැබෙන බැවින් ප්‍ර‍තිපදා විශුද්ධිය ආදි කල්‍යාණය යි කීහු.)

 

2.  උපෙක්‍ෂානුබ්‍රෑහණාව - උපෙක්‍ෂාව වැඩීම මධ්‍ය කල්‍යාණය යි.

 

3.  සම්පහංසනාව - සතුටුවීම පරියොසන කල්‍යාණය යි.

දශ ලක්‍ෂණය

මෙය ත්‍රිවිධ කල්‍යාණ පිළිබඳ මය.

 

ප්‍ර‍තිපදා විශුද්ධි සංඛ්‍යාත ආදි කල්‍යාණයාගේ ලක්‍ෂණ තුනෙකි.

 

1.  ධ්‍යානය පිළිබඳ උපද්‍ර‍වයන්ගෙන් සිත ශුද්‍ධ වීම

2.  ඒ ශුද්‍ධවීමෙන් ම සිත මධ්‍යම සමථ නිමිත්තට පැමිණීම

3.  ඒ පැමිණීමෙන් ම සිත එහි වැදැ සිටීම

 

මේ ආදි කල්‍යාණයාගේ ත්‍රිවිධ ලක්‍ෂණය යි.

 

උපෙක්‍ෂානුබ්‍රෑහණා සංඛ්‍යාත මධ්‍ය කල්‍යාණයාගේ ලක්‍ෂණ තුනෙක.

 

1.  ප්‍ර‍තිපදා බලයෙන් පිරිසිදු වූ සිත නැවත පිරිසිදු නොකට හැකි බැවින් විශොධනයෙහි ව්‍යාපාර නො කොට උපේක්‍ෂා වීම.

2.  සමථ භාවයට පැමිණි හෙයින් නැවත සමාධානයෙහි ව්‍යාපාර නො කොටැ උපේක්‍ෂා වීම.

3.  සමථයට පැමිණි හෙයින් ම ක්ලේශ සංසර්‍ගය හැරැ ඒකත්‍වයෙන් වැටහුණු සමාධිහුගේ නැවත එකත්තුපට්ඨානයෙහි ව්‍යාපාර නො කැරැ උපේක්‍ෂා වීම.

 

මේ මධ්‍ය කල්‍යාණයාගේ ත්‍රිවිධ ලක්‍ෂණ යි.

 

සම්පහංසනා සංඛ්‍යාත පරියොසාන කල්‍යාණයාගේ ලක්‍ෂණ සතරෙකි.

 

1.  එහි උපන් සමාධි ප්‍ර‍ඥා සංඛ්‍යාත යුගනද්ධ ධර්‍ම නො ඉක්මෙන බැවින් සතුටු වීම.

2.  ශ්‍ර‍ද්ධාදි ඉන්‍ද්‍රියයන් නානා ක්ලේශයන් කෙරෙන් මිදී විමුක්ති රසයෙක එකරස වන බැවින් සතුටුවීම

3.  ඒ එකරස භාවයට අනුරූප වැ වීර්‍ය්‍ය පවත්නා බැවින් සතුටුවීම.

4.  ආසෙවන වශයෙන් සතුටුවීම.

 

මේ පරියෝසාන කල්‍යාණයාගේ චතුර්විධ ලක්‍ෂණයි මෙය මතු ද පැහැදිලි කෙරේ.

 

යට දැක්වුණු ත්‍රිවිධ කල්‍යාණ අතුරෙන් ප්‍ර‍තිපදා විශුද්ධි නම් පරිකර්‍ම සහිත උපචාරය යි ද, උපේක්‍ෂානුබ්‍රෑහණා නම් අර්පණාය යි ද, සම්පහංසනා නම් ප්‍ර‍ත්‍යවෙක්‍ෂණය යි ද අභයගිරි නිකායිකයෝ කියති. අර්පණාප්‍රාප්ත චිත්තයම ප්‍ර‍තිපදාවිශුද්ධි උපේක්‍ෂානුබ්‍රෑහණා ඤාණසම්පහංසනා යන ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්ත බව පෙළෙහි වදාළ බැවින් ඔවුන්ගේ මතය සාවද්‍යය ඒ ත්‍රිවිධ කල්‍යාණය ම අර්පණා ප්‍රාප්තය බව දත යුතු. එහි දු ප්‍ර‍තිපදාවිශුද්‍ධිය ආගමන වශයෙන් ද, උපේක්‍ෂානුබ්‍රෑහණාව තත්‍ර‍මජ්ඣත්තුපෙක්ඛාවගේ කෘත්‍ය වශයෙන් ද, සම්පහංසනාව ධර්‍මයන්ගේ අනතිවතතනාදිය සිදුවීමෙන් පිරිසිදු වූ ඥානයාගේ කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් ද වන්නේ ය.

 

එහි විභාගය මෙසේ ය.

 

1. සතර පස් සිතක් ඇති යම් අර්පණා වාරයෙක අර්පනාව උපන්නේ නම් එවිට ඒ ධ්‍යානයට උපද්‍ර‍ව වශයෙන් පවත්නා නීවරණ සංඛ්‍යාත ක්ලේශ සමූහයාගෙන් සිත පිරිසිදු වන්නේ ය.

 

2. එසේ පිරිසිදු වීම හේතු කොටැ ගෙනැ සිත නීවරණ රහිත වැ මධ්‍යම සමථ නිමිත්තට පැමිණෙන්නේ ය. මධ්‍යම සමථ නිමිත්ත නම් සම ප්‍ර‍වෘත්ත අර්පණා සමාධි ම ය. (සම ප්‍ර‍වෘත්ත අර්පණා සමාධිය ම ලීනෞද්ධත්‍ය සංඛ්‍යාත අන්තද්වයට අනුපගමනයෙන් මධ්‍ය නමුදු සවිශේෂයෙන් ප්‍ර‍ත්‍යනීක - විරුද්ධ ධර්‍මය ව්‍යුපශමය කරන හෙයින් ශමථ නමුදු යෝගිහුගෙ සුඛවිශේෂයට කාරණ හෙයින් නිමිත්ත නමුදු වේ” යනු පැරකුම් සන්න යි.) මධ්‍යම සමථ නිමිත්තයට පැමිණීම නම් ඒ අර්පණාචිත්තයට අනන්තර ප්‍ර‍ත්‍ය වූ පූර්‍වචිත්තය හෙවත් ගෝත්‍ර‍භූ චිත්තය ‘කිරි ම දී නො වෙතත් එකත්‍ව නයින්’ කිරිම දී වන්නා සේ ගෝත්‍ර‍භූ චිත්තයම අර්පණා නොවෙතත් එකසන්තති පරිණාමනයෙන් අර්පණාසමාධි  බවට පැමිණීම යි.

 

3. එසේ පැමිණීම හේතු කොටැ ගෙනැ එ කෙණෙහි අර්පණා සමාධීන් සමාහිත භාවයට එළඹීමෙන් සෙස්සන් සෙයින් වදනා බවක් නැත ද ඒකත්‍ව නයින් අර්පණා සමාධි බවට වැදැ සිටින්නේ ය.

 

අර්පණා සිතට පූර්‍ව වූ ග්‍රෝතභූචිත්තයෙහි විද්‍යාමාන පරිපන්‍ථ විශුද්ධි, මධ්‍යම සමථ ප්‍ර‍තිපත්ති, පක්ඛන්‍ද යන ආකාරයෙන් නිපන් ප්‍ර‍ථම ධ්‍යානයාගේ උත්පත්ති ක්‍ෂණයෙහි ආගමන වශයෙන් පැවති ප්‍ර‍තිපදාවිශුද්‍ධි සංඛ්‍යාත ආදි කල්‍යාණයාගේ විභාගය යි.

 

1. විසුද්ධ වූ සිතෙහි නැවත සුද්ධ කටයුතු නැති බැවින් විශෝධනයෙහි ව්‍යාපාර නො කරන්නේ විශුද්ධ චිත්තයෙහි උපේක්‍ෂා වන්නේ නම් වන්නේ ය.

 

සමථ භාවයට පැමිණීමෙන් සමථයට පිළිපන්නහුට නැවත සමාධානයෙහි ව්‍යාපාර නොකරන්නේ සමථ පටිපන්න සිතෙහි උපේක්‍ෂාවන්නේ නම් වන්නේ ය.

 

3. සමථ ප්‍ර‍තිපන්න බැවින් ම ක්ලේශ සංසර්‍ග නැති බැවින් එකත්‍වයෙන් හුදෙකලා වැ පිහිටි ඒ ධ්‍යාන සිත නැවත ඒකත්‍වයෙන් තැබීමෙන් ප්‍ර‍යෝග නො කරන්නේ එකත්තු පට්ඨානයෙහි උපේක්‍ෂා වන්නේ නම් වන්නේ ය.

 

උපේක්‍ෂානුබ්‍රෑහණා සංඛ්‍යාත මධ්‍ය කල්‍යාණයාගේ විභාගය යි.

 

මෙසේ උපේක්‍ෂායෙන් වඩනා ලද ඒ සමාධි සිතෙහි 1. සමාධි ප්‍ර‍ඥා සංඛ්‍යාත යුගනද්ධ ධර්‍මයෝ අන්‍යොන්‍යයන් නො ඉක්මැ සම වැ පවත්නා හ.

 

2. ශ්‍ර‍ද්ධාදි වූ ඉන්‍ද්‍රියෝ නානා ක්ලේශයන්ගෙන් මිදී විමුක්ති රසයෙන් එක් රස වැ පවත්නාහ.

 

3. ඒ යෝගාවචර සමාධිප්‍ර‍ඥාවන්ගේ නො ඉක්මීමට හා ශ්‍ර‍ද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ ඒක රස භාවයට සුදුසු යම් වීර්‍ය්‍යයක් වඩා ද එ ද එහි වන්නේ ය. ඒ ඇසිල්ලෙහි පැවැති ආසේවනාව ද එහි වන්නේ ය. මේ සියල්ල සංක්ලේශකර ව්‍යවදානකර ධර්මයන්හි ඒ ඒ දෝෂ හා ගුණ නුවණින් දැනැ අන්‍යොන්‍යයන් නො ඉක්මැ පැවතීම් ආදිය වන පරිදි සම්පහංසිත බැවින් - විශෝධ්ධිත බැවින් - නිර්‍මලීකෘත බැවින් යම් හෙයකින් නිපන්නේ ද එහෙයින් “සම්පහංසනාව ධර්‍මයන්ගේ අනතිවත්තනාදිය සිදුවීමෙන් පිරිසිදු වූ ඥානයාගේ කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් වන්නේ ය”යි කියන ලද්දේ ය. (ඒ ධ්‍යානක්‍ෂණයෙන් ඇති උපේක්‍ෂානු බ්‍රෑහණාව අවසානය යි නො කියා සම්පහංසනාව අවසානය යි කුමට කීයේ ද යත් :- එහි උපේක්‍ෂා වශයෙන් ඥානය ප්‍ර‍කට හෙයින් ඥානකෘත්‍ය ළුූ සම්පහංසනාව පරියෝසානය යි කියන ලදැයි දත යුතු.

 

කීයේම ය:- “තථා පග්ගහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛති උපෙක්ඛාවසෙන. පඤ්ඤාවසෙන පඤ්ඤින්‍ද්‍රියං අධිමත්තං හොති උපෙක්ඛාවසෙන. නානත්තකිලෙසෙහි චිත්තං විමුච්චති වීමොක්ඛවසෙන පඤ්ඤා වසෙනව පඤ්ඤින්‍ද්‍රියං අධිමත්තං හොති. විමුත්තත්තා තෙ ධම්මා එකරසා හොන්ති එක රසට්ඨෙන භාවනා”යි.

 

සම්පහංසනා සංඛ්‍යාත පිරියෝසාන කල්‍යාණයාගේ විභාගය යි.

 

(මෙසේ ත්‍රිවිධ ප්‍ර‍තිපත්ති විශුද්ධියෙන් ලද විශේෂ ඇති ත්‍රිවිධ වූ උපේක්‍ෂානුබ්‍රෑහණයෙන් සාතිශය ප්‍රඥේන්‍ද්‍රියයා ගේ අධිමාත්‍ර‍ බැවින් චතුර්විධ වූ සම්පහංසනා සිද්ධ වේනු යි ආගමන උපේක්‍ෂා ඥානකෘත්‍ය වශයෙන් දශප්‍ර‍කාර ආකාරයෝ ධ්‍යානයෙහි ම වෙතියි” දත යුතු යි.)

 

“පඨමං ඣානං අධිගතං හොති පඨවි කසිණං[209] පඨවි කසිණ ප්‍ර‍ථම ධ්‍යානය ලබාගන්නා ලද්දේ වේ” යන මෙහි ප්‍ර‍ථම නම් වූයේ දේශනා ක්‍ර‍මයෙන් ආ ගණන් පිළිවෙළිනි. නැතහොත් පළමු කොටැ අධිගත වූයේ හෝ ප්‍ර‍ථම ය.

 

අරමුණු උපනිජ්ඣානය කරන්නේ-බලන්නේ යන අර්‍ථයෙන් හෝ ප්‍ර‍තිපක්‍ෂ නීවරණ ඣාපනය කරන්නේ - දවාලන්නේ යන අර්‍ථයෙන් හෝ ඣානය යි කියනු ලැබේ.

 

පෘථිවිමණ්ඩලය සකලාර්‍ථයෙන් පඨවිකසිණ නමි. කසිණ නම් කෘත්සනය - සියල්ල ය. එක දේශයක් අරමුණු කොටැ සියල්ල අරමුණු කරන බැවිනි. ඒ පෘථිවි මණ්ඩලය නිසා ලත් නිමිත්ත ද පඨවි කසිණය. එනම් පඨවි කසිණ නිමිත්තයි. ඒ නිමිති කොටැ ලත් ධ්‍යානය ද පඨවි කසිණය. මෙහිලා ධ්‍යානය පඨවි කසිණය යි දත යුතු. “පඨමං ඣානං අධීගතං හොති පඨවි කසිණං” යනු වදාළේ එ හෙයිනි.

 

මෙසේ ධ්‍යානය ලැබැගත් කල්හි ඒ යෝගීහු විසින් වාළවෙධියකු මෙන් ද, සූදයකු මෙන් ද ආකාර සලකා ගත යුතු. අතිදක්‍ෂ ධනුර්‍ධරයා වාළවෙධය පිණිස අභියෝගය කරනුයේ වාළය විදැපී වාරයෙහි තම පා තුබුණු සැටි ද, දුන්න හා දුනුදිය හා ශරය හා තුබුණු හැටි ද සලකා ගන්නේ ය. මෙසේ සිටි මා විසින් මෙසේ මෙසේ දුන්න හා දුනුදිය හා ශරය හා ගෙනැ මෙසේ වාළය විදුනා ලදැ යි සිතන්නේ ය. එසේ සලකා ගත් හෙතෙමේ එතැන් පටන් ඒ ඒ ආකාරයෙහි ම පිහිටා නො වරදවා වාළය විදැලන්නේ ය. එසේ මැ යෝගීහු විසිනු දු “ම විසින් මේ මේ බොජුන් වළඳා මෙබඳු පුද්ගලයන් ඇසුරු කිරීමෙන් මෙ බඳු සෙනස්නෙහි මේ මේ ඉරියව්වෙහි සිටැ මේ කාලයෙහි මේ ධ්‍යානය ලැබැගන්නා ලදැ යි” භෝජන සප්පයාදි ආකාර සැලකිය යුතු. එවිට ඒ ධ්‍යානය නටද, පළමු කී විධි සම්පාදනය කොටැ නැවත උපදවා ගන්නට ද, අප්‍ර‍ගුණ ලැබැගන්නට ද සමර්‍ථ වන්නේ ය.

 

දක්‍ෂ වූ සූදයා ස්වාමියාට බොජුන් වළඳවන්නේ ස්වාමියා යම් යම් භෝජනයක් රුචියෙන් වළඳා නම් ඒ ඒ භෝජනය සිතට ගෙනැ එතැන් පටන් එබන්ද ම පිළියෙළ කොටැ දී ලාභ ලබන්නේ ය. මේ යෝගාවචර ද ධ්‍යාන ලැබැගත් ඇසිල්ලෙහි ඒ භෝජනාදි ආකාර සලකා ගෙනැ එතැන් පටන් එබන්ද ම සම්පාදනය කරන්නේ නැවත නැවත අර්පණා ලැබැගන්නේ ය. යෝගීහු විසින් වාළවෙධියකු මෙන් ද, සූදයකු මෙන් ද, ඒ ඒ ආකාර සලකා ගත යුතුය යි කියන ලද්දේ එහෙයිනි.

 

වදාළේ මැ යි

 

“සෙය්‍යථා පි භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො සුදො රාජානං වා රාජමහාමත්තානං වා නානච්චයෙහි නානග්ගරසෙහි සුපෙහි පච්චුපට්ඨිතො අස්ස අම්බිලග්ගෙහි පි තිත්තකග්ගෙහි පි කටුකග්ගෙහි පි මධුරග්ගෙහි පි ඛාරිකෙහි පි අඛාරිකෙහි පි ලොණිකෙහි පි අලොණිකෙහි පි, සඛො සො භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො සුදො සකස්ස භත්තු නිමිත්තං උග්ගණ්හාති. ඉදං වා මෙ අජ්ජභත්තු සූපෙය්‍යං රුච්චති ඉමස්ස වා අභිහරතී ඉමස්ස වා බහුං ගණහාති ඉමස්ස වා වණනං භාසති අම්බිලග්ගං වා මෙ අජ්ජ භත්තු සූපෙය්‍යං රුච්චති අම්බිලග්ගස්ස වා අභිහරති අම්බිලග්ගස්ස වා බහුං ගණ්හාති අම්බිලග්ගස්ස වා වණ්ණං භාසති - පෙ ආලොණිකස්සවා වා වණ්ණං භාසති ති. සඛො සො භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො සූදො ලාභී චෙව හොති අච්ඡාදණස්ස ලාභි වෙතනස්ස ලාභී අභිහාරානං. තං කිස්ස හෙතු? තථා හි සො භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො සුදො සකස්ස භත්තු නිමිත්තං උග්ගණ්හාති.

 

එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො පණ්ඩිතොවියත්තො කුසලො භික්ඛු කායෙ කායානුපස්සි විහරති පෙ-වෙදනාසු-පෙ-චිත්තෙ-පෙ-ධම්මෙසු ධම්මානුපස්සි විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං. තස්ස ධම්මෙසු ධම්මානු පස්සිනො විහරතො චිත්තං සමාධියති උපක්කිලෙසා පහීයන්ති, සො තං නිමිත්තං උග්ගණ්හාති. සඛො සො භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො භික්ඛු ලාභී චෙව හොති දිට්ඨධම්මසුඛවිහාරස්ස ලාභී සතිසම්පජඤ්ඤස්ස, තං කිස්ස හෙතු? තථාහි සො භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො භික්ඛු සකස්ස චිත්තස්ස නිමිත්තං උග්ගණ්හාති[210] යි.

 

මෙහි සංක්‍ෂිප්ත අර්‍ථය මෙසේ ය.

 

“මහණෙනි! නුවණැති දක්‍ෂ අරක්කැමියා ඇඹුල් රස වූ හෝ තිත්ත රස වූ හෝ කුළු රස වූ හෝ මිහිරි රස වූ හෝ ක්‍ෂාර ද්‍ර‍ව්‍ය මිශ්‍ර‍ වූ හෝ ක්‍ෂාර ද්‍ර‍ව්‍ය මිශ්‍ර‍ නුවූ හෝ ලුණු රස වූ හෝ ලුණු රස නුවූ හෝ නොයෙක් රස ඇති නොයෙක් අග්‍ර‍ රස ඇති මාළුයෙන් රජකු හට හෝ රජ ඇමතියකු හට හෝ වළඳවන්නේ ය. මහණෙනි! ඒ නුවණැති දක්‍ෂ අරක්කැමියා “අද මාගේ ස්වාමියාට මේ මාළුව රිසි ය. මෙයට අත තබා මෙය වඩා ගනී. මෙහි ගුණ කියා ය යි” ස්වකීය ස්වාමියාගේ රුචියෙන් වළඳන ආකාරය සිතට ගන්නේ ය. මහණෙනි! එයින් ඒ නුවණැති දක්‍ෂ අරක්කැමියා හඳනා පිළි ද වැටුප් ද අභිහාර ද ලබන්නේ ය. කුමක් හෙයින්ද? මහණෙනි! ඒ නුවණැති දක්‍ෂ අරක්කැමියා ස්වකීය ස්වාමියාගේ රුචි වැ වළඳන ආකාරය සිතට ගත්තේ ය. එහෙයිනි, එ මෙන් මැ මහණෙනි! මේ ශාසනයෙහි නුවණැති දක්‍ෂ භික්‍ෂු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ සිහි නුවණ ඇති වැ ලෝකයෙහි අභිධ්‍යා හා දොම්නස් වැඩ පවත්වා ගෙනැ කායයෙහි කායානුපස්සි වැ වේදනාවන්හි වේදනානුපස්සී වැ චිත්තයෙහි චිත්තානුපස්සී වැ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වාසය කරන්නේය. මහණෙනි! එසේ වසන ඒ භික්‍ෂුහුගේ සිත සමාධි වන්නේ ය. උපක්ලේශ ප්‍ර‍හීණ වන්නේ ය. මහණෙනි! ඒ භික්‍ෂු ඒ ආකාරය සිතට ගන්නේ ය. එයින් ඒ භික්‍ෂු මේ අත්බැව්හි සැප විහරණ ද සිහි නුවණ ද ලබන්නේ ය. කුමක් හෙයින් ද මහණෙනි! එසේ ඒ භික්‍ෂු ස්වකීය චිත්තයාගේ ආකාර සිතට ගන්නේ ය. එහෙයිනි.

 

ආකාර සිතට ගැන්මෙන් යළි ඔහු ඒ ආකාර එසේ සම්පාදනය කරත් ම ඔහුට අර්පණා මාත්‍ර‍ය ම සිද්ධ වන්නේ ය. අර්පණාවගේ චිරස්ථිතිය සිද්ධ නො වන්නේ ය. අර්පණා චිරස්ථිතිය වන්නේ සමාධියට ප්‍ර‍තිපක්‍ෂ වූ නීවරණ ධර්‍ම මනාකොටැ සුද්ධ කැරැ ගැන්මෙනි.

 

ඒ එසේ මැයි :- යම් මහණෙක් කාමයන්ගේ ආදීනව සැලකීම් ආදි වශයෙන් කාමච්ඡන්‍දය විෂ්කම්භනය කොටැ නො ගෙනැ, කායපස්සද්ධි වසයෙන් කායදරථය හෙවත් කාය චිත්තයන්ගේ සංරද්ධ භාවයට නිමිත්ත වූ ව්‍යාපාදය නො සංසිඳුවා ගෙනැ, ආරම්භ ධාතු ආලෝක සංඥාදිය මෙනෙහි කිරීම් වශයෙන් ථීනමිද්ධය දුරු කොටැ නො ගෙනැ, සමථ නිමිත්ත මෙනෙහි කිරීම් ආදි වශයෙන් උද්ධච්චකුක්කුච්චය නො නසා, අන්‍ය වූත් විචිකිච්ඡාවට කරුණු වූ මද-නිම්මදනාදි සමාධි ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මයන් ශුද්ධ කොටැ නො ගෙනැ, ධ්‍යානයට සමවන්නේ නම් ඒ භික්‍ෂු අශුද්ධ ස්ථානයකට වන් බමරකු සේ ද, අශුද්ධ උද්‍යානයකට වන් රජකු සේ ද වහා ඒ ධ්‍යානයෙන් නැඟෙන්නේ ය. එසේ නො වැ යම් මහණෙක් සමාධි ප්‍ර‍තිපක්‍ෂ ධර්‍ම මැනෙවින් පිරිසිදු කොටැ ගෙනැ සමාධියට සමවදනේ ද හේ සුවිශුද්ධ ස්ථානයට වන් භ්‍ර‍මරයා සේ ද, පරිශුද්ධ උද්‍යානයට වන් රාජයා සේ ද මුළු දවස සමාපත්තියෙහි ම සිටින්නේ ය. එහෙයින් කීහ පුරාතනයෝ.

 

“කාමෙසු ජන්‍දං පටිඝං විනොදයෙ

උද්ධච්ච මිද්ධං විචිකිච්ඡ පඤ්චමං

විවෙක පාමුජ්ජ කරෙන චෙතසා

රාජාව සුද්ධන්ත ගතො තහිං රමෙ”යි.

 

‘කාමච්ඡන්‍දය ද ව්‍යාපාදය ද, උද්ධච්ච - කුක්කුච්චය ද, ථීනමිද්ධය ද, පස්වනු වූ විචිකිච්ඡාව ද දුරු කරන්නේ ය. විවේකජ ප්‍රීතිය උපදවන සිතින් සුද්ධන්තගත රජකු මෙන් ඒ ධ්‍යානයෙහි ඇලෙන්නේ ය, යනු එහි අර්‍ථ යි. එහෙයින් සමාධි චිරස්ථිතිය කැමැත්තහු විසින් ප්‍ර‍තිපක්‍ෂ ධර්‍ම ශුද්ධ කොටැ ගෙනැ ධ්‍යානයට සමවැදිය යුතු.

 

තවද සමාධි භාවනා අභිඥා වශයෙන් විපුල කැරැ ගැන්ම සඳහා කුදු මහත් වශයෙන් හෝ උපචාරභූමි අර්පණාභූමි වශයෙන් හෝ ලද පරිදි ඒ පටිභාග නිමිත්ත වැඩිය යුතු. උපචාරභූමි අර්පණා භූමිය යි එහි වැඩුම් භූමි දෙකෙකි. උපචාරයට පැමිණැ හෝ අර්පණාවට පැමිණැ හෝ ප්‍ර‍තිභාග නිමිත්ත වැඩිය යුතු. ඒ දෙතැනින් එක් තැනෙකදී අවශ්‍යයෙන් වැඩිය යුතු. “ලද පරිදි පටිභාග නිමිත්ත වැඩිය යුතු ය” ආදියෙහි කීයේ එහෙයිනි.

 

පටිභාග නිමිත්ත වඩන ක්‍ර‍මය මෙසේ ය.

 

ඒ යෝගීහු විසින් එය පාත්‍ර‍ වඩන නියායෙන් හෝ පූ වඩන නියායෙන් හෝ බත් වඩන නියායෙන් හෝ ලිය වඩන නියායෙන් හෝ පිළිවඩන නියායෙන් හෝ නොවඩා සීසානා ගොවි සෑ යුතු භූමිය නගුලින් පිරිසිඳැ ඒ පරිචේඡදාභ්‍යන්තරයෙහි සානා සේ ද, සීමා බඳුන භික්‍ෂූන් පළමු නිමිති සලකා ඒ නිමිති ඇතුළ සීමා බඳනා සේ ද ලද පරිදි ඒ නිමිත්ත පිළිවෙළින් අඟුල්  - දැඟුල් - තෙ අඟුල් - සිව් අඟුල් සා තැන් සිතින් පිරිසිඳැ - පිරිසිඳ ඒ පරිච්ඡේදය තාක් වැඩිය යුතු යි. පරිචේඡද නො කොටැ නො වැඩිය යුතු. ඉක්බිති වියත් - රියන් - පමුඛ - පිරිවෙන් - විහාර ඉම් දක්වා ද ඉක්බිති ගම් - නියම්ගම් - දනවු - රාජ්‍ය - සමුද්‍ර‍ සීමා දක්වා ද වඩමින් ගොස් සක්වළගල දක්වා හෝ ඉනුදු ඔබ්බෙහි හෝ පිරිසිඳැ වැඩිය යුතු හංස පැටව් පියා නැඟී තැන් පටන් මඳ මඳ තැන් පැනැ පැනැ පුරුදු කොටැ පිළිවෙලින් සඳහිරු කරා යති. එ මෙන් යෝගී භික්‍ෂු යට කී නියායෙන් නිමිත්ත පිරිසිඳැ වඩන්නේ සක්වළගල තාක් ද, ඉන් ඔබ්බෙහි ද වඩන්නේ ය. නිමිත්ත වැඩු වැඩු තැන පොළොව ගොඩ - වළ - ගංගා - පර්‍වත - විසම තන්හි සඞ්කු සතයෙන් හයා පහරන ලද වෘෂභ චර්‍මයක් මෙන් සම වන්නේ ය.

 

ඒ නිමිත්තයෙහි ප්‍ර‍ථම ධ්‍යානය ලත් ආදි කර්‍මමිකයා විසින් එහි සම වැදීම බහුල කළ යුතු. ප්‍ර‍ත්‍යවේක්‍ෂණය බහුල නො කළ යුතු. ප්‍ර‍ත්‍යවේක්‍ෂණය බහුල කරන්නහුට ප්‍ර‍ත්‍යවේක්‍ෂා බලයෙන් විභූත වන බැවින් ධ්‍යානාඞ්ග ඖදාරික වැ ද ප්‍ර‍ගුණ බලවත් භාවයට නො පැමිණෙන බැවින් දුබල වැ ද වැටහෙන්නේ ය. එසේ වැටහොත් ම එය මතු ද්විතීය ධ්‍යානය උපදවන්නට උත්සාහවත් වීම සඳහා ප්‍ර‍ත්‍යය වන්නේ ය. හේ අප්‍ර‍ගුණ වූ ධ්‍යානයෙහි උත්සාහවත් වන්නේ ප්‍ර‍ථම ධ්‍යානයෙන් ද පිරිහෙයි. ද්විතීය ධ්‍යානයට පැමිණෙන්නට ද අසමර්‍ථ වෙයි. වදාළෝම ය බුදුහු.

 

“සෙය්‍යථාපි භික්ඛවෙ ගාවී පබ්බතෙය්‍යා බාලා අඛ්‍යත්තා අබෙත්තඤ්ඤූ අකුසලා විසමෙ පබ්බතෙ චරිතුං. තස්සා - එවමස්ස “යන්නූනාහං අගතපුබ්බංචෙව දිසං ගච්ඡෙය්‍යං අඛාදිතපුබ්බානි චෙව තිණානි ඛාදෙය්‍ය. අපීතබ්බානි පානීයානි පිවෙය්‍යං”ති. සා පුරිමං පාදං න සුප්පතිට්ඨිතං පිතට්ඨාපෙත්‍වා පච්ඡිමං පාදං උද්ධරෙය්‍ය. සාන චෙව අගතපුබ්බං දියං ගච්ඡෙය්‍ය. න ච අඛාදිතපුබ්බානි තිණානි ඛාදෙය්‍ය. නච අපීත පුබ්බාති පානියානි පිවෙය්‍ය. යස්මිං චස්සා පදෙසෙ ඨිතාය එවමස්ස යන්නූනාහං අගතපුබ්බං චෙව -පෙ-පිවෙය්‍යං ති. තං ච පදෙසං න සොත්‍ථිනා පච්චාගච්ඡෙය්‍ය තං කිස්ස හෙතු? තථාහි සා භික්ඛවෙ ගාවී පබ්බතෙය්‍යා බාලා අව්‍යත්තා අඛෙත්තඤ්ඤූ අකුසලා විසමෙ පබ්බතෙ චරිතං.

 

එව මෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො භික්ඛු බාලො අබ්‍යත්තො අඛෙත්තඤ්ඤූ අකුසලො විවිච්චෙව කාමෙහි -පෙ-පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. සො තං නිමිත්තං නාසෙවති. න භාවෙති. න බහුලීකරොති. න ස්වාධිටඨිතං අධිට්ඨාති. තස්ස එවං හොති “යන්නූනාහං වීතක්ක විචාරානං වූපසමා -පෙ- දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරිතුං, තස්ස එවං හොති “යන්නූනාහං විවිච්චෙව කාමෙහි -පෙ-පඨමං ඣානං උපසම්පජ්ජ විහරෙය්‍යා”ති සො න සක්කොති විවිච්චෙව කාමෙහි -පෙ-පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු උභතො භට්ඨො උභතො පරිහීනො. සෙය්‍යථාපි භික්ඛවෙ සා ගාවී පබ්බතෙය්‍යා බාලා අව්‍යත්තා අඛෙත්තඤ්ඤු අකුසලා විසමෙ පබ්බතෙ චරිතුං”[211] යි.

 

මෙහි සංක්‍ෂිප්ත අර්‍ථය මෙසේ ය.

 

‘මහණෙනි! පර්‍වත වැසි - විසම පර්‍වතයෙහි හැසිරෙන්නට නො දත් - ගොදුරු බිම නොදන්නා බාල නො වියත් ගව දෙනක් නො ගිය විරූ දිගකට යන්නට හෝ, නො කෑ විරූ තණ කන්නට හෝ, නු පූ විරූ පැන් බොන්නට හෝ සිතා ඉදිරි පයින් මනා වැ නො සිටැ පසු පා නඟන්නී ය. ඕ එයින් නො ගිය විරූ දිගට ද නො යයි. නො කෑ විරූ තණ ද නො කයි. නුපූ විරූ පැන් ද නො බොයි. එ මතුද ආදියෙහි උන් තැනට ද යන්නට අසමර්‍ථ වෙයි. කුමක් හෙයින් ද ඇය එතෙක් අඥාන හෙයිනි.

 

එ මෙන් ම මහණෙනි! මේ ශාසනයෙහි ප්‍ර‍ථම ධ්‍යානය ලැබ ගෙන වාසය කරන්නට අදක්‍ෂ - අක්‍ෂේත්‍ර‍ඥ - බාල - නො වියත් භික්‍ෂු සමාධි නිමිත්ත සේවනය නො කරයි. නො වඩයි. බහුල නො කරයි. මනා වැ පිහිටුවා නො ගනියි. එසේ වුව ද හේ ද්විතීය ධ්‍යානය ලැබැ ගෙනැ වාසය කරන්නට සිත යි. මහණෙනි1 හේ ද්විතීය ධ්‍යානය ලැබැ ගන්නට අසමර්‍ථ වෙයි. එ මතු ද මහණෙනි හේ ප්‍ර‍ථම ධ්‍යානය ද ලැබැගෙනැ වාසය කරන්නට අසමර්‍ථ වෙයි. මහණෙනි! අර ගව දෙන මෙන් මේ භික්‍ෂු දෙ පසින් ම බටුයේ ය. දෙපසින්ම පිරිහුණේ යයි කිය යුතු යි.

 

එසේ හෙයින් ඒ යෝගී විසින් පළමු කොටැ ඒ ප්‍ර‍ථම ධ්‍යානයෙහි මැ පස් ආකාරයෙින් චීර්‍ණවශී විය යුතු.

 

පඤ්චිධ වසී.

 

ආවජ්ජන, සමාපජ්ජන, අදිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛණ ය යි වසී පසෙකි. (වසී නම් රිසි සේ යටත් කොටැ ගෙනැ පවත්වන්නට සමර්‍ථ බව යි.)

 

1. කැමැති යම් තැනෙක කැමැති යම් ධ්‍යානාඞ්ගයක් කැමැතිතාක් කල් ආවර්‍ජනය කිරීමෙහි සමර්‍ථ බව - ආවර්‍ජනයෙහි ලැසි නොවන බව ආවජ්ජන වසී ය.

 

2. කැමැති යම් තැනෙක කැමැති යම් ධ්‍යානාඞ්ගයකට කැමැතිතාක් කල් සමවැදීමෙහි සමර්‍ථ බව - සම වැදීමෙහි ලැසි නොවන බව සමාපජ්ජන වසී ය.

 

3. කැමැති යම් තැනෙක කැමැති යම් ධ්‍යානාඞ්ගයක් කැමැතිතාක් කල් අධිෂ්ඨානයෙහි සමර්‍ථ බව - අධිෂ්ඨානයෙහි ලැසි නොවන බව අධිෂ්ඨාන වසී ය.

 

4. කැමැති යම් තැනෙක කැමැති යම් ධ්‍යානාඞ්ගයෙකින් කැමැති කාලයෙකැ නැඟී සිටීමෙහි සමර්‍ථ බව - නැඟී සිටීමෙහි ලැසි නොවන බව වුට්ඨාන වසී ය.

 

5. කැමැති යම් තැනෙක කැමැති යම් ධ්‍යානාඞ්ගයක් කැමැති යම් කලෙක ප්‍ර‍ත්‍යවේක්‍ෂායෙහි සමර්‍ථ බව - ප්‍ර‍ත්‍යවේක්‍ෂායෙහි ලැසි නොවන බව පච්චවෙක්ඛණ වසී ය.

 

එහි අර්‍ථ ප්‍ර‍කාශනය මෙසේ දත යුතු.

 

1. ප්‍ර‍ථම ධ්‍යානයෙන් නැඟී එහි ප්‍ර‍ථමාඞ්ගය වූ විතර්‍කය අරමුණ කරන්නහුට භවාඞ්ග සිඳැ ගෙනැ උපන් ආවර්‍ජනයට අනතුරු වැ එම අරමුණු කොටැ ඇති ජවන් සතරෙක් හෝ පසෙක් දිවෙන්නේ ය. තදනන්තර වැ භවාඞ්ග දෙකෙක් උපදී. යළි විචාරය අරමුණු කොටැ ආවර්‍ජනය ද, යට දැක්වුණු සේ ජවන් ද දිවෙයි. මෙසේ ධ්‍යානාඞ්ග පසෙහි නිරතුරු සිත මෙහෙයන්නට සමර්‍ථ වී නම් එවිට ආවජ්ජන වසී සිද්ධ වූයේ වේ. භවාඞ්ග සිත් දෙකකින් අතුරු ඇති සතර ජවන් සිත් ඇති මේ මස්තක ප්‍රාප්ත වසී වනාහි බුදුරජාණන් වහන්සේට යමා මහ පෙළහර දක්වන කල්හි ලැබෙන්නේ ය. සෙසු සැරියුත් ස්වාමි ආදීන්ට ද ලැබෙන්නේ එබඳු කලෙක ය. මෙයට වඩා සියුම් ආවජ්ජන වසීයෙක් නැති. (බුදුනට එක භවාඞ්ගයෙකින් අතුරු නොවන බැවිනි. තික්ඛින්‍ද්‍රියයනට ජවන් සතර ය. නාතිතික්ඛින්‍ද්‍රියයනට ජවන් පස යි.)

 

2. නන්‍දොපනන්‍ද දමනයෙහි සමර්‍ථ බව මුගලන් ස්වාමීන්ට මෙන් සිඝ්‍ර‍ වැ සමවැදීමෙහි සමර්‍ථ බව සමාපජ්ජන වසී ය.

 

3. අසුරක් හෝ දස අසුරක් හෝ පහරන පමණ කාලයක් තබා ගන්නට සමර්‍ථ බව අධිට්ඨාන වසී ය.

 

4. එසේ ම වහා නැඟෙන්නට සමර්‍ථ බව වුට්ඨාන වසී ය. අධිට්ඨාන වුට්ඨානවසී දක්වනු සඳහා බුද්ධරක්ඛිත ස්වාමීන්ගේ කථාව කිය යුතු. බුද්ධරක්ඛිත ස්වාමි උපසම්පදායෙන් අටවැසි වූයේ ම ථෙරම්බත්‍ථලයෙහි මහාරොහණගුත්ත ස්ථවිරයන් වහන්සේට ගිලන් උපස්ථාන සඳහා රැස් වූ තිස්දහසක් සෘද්ධිමතුන් මැද සිටියේ තෙරුන්වහන්සේට කැඳ පිළිගන්වමින් සිටි උපස්ථායක නාගරාජයා අල්වාගැනීම පිණිස අහසින් බස්නා ගුරුළු රජු දැකැ එකෙණෙහිම පර්‍වතයක් මවා නාරජ අතින් ගෙනැ ඒ පර්‍වතයට වැදුණේ ය. ගුරුළා පර්‍වතයට පහර දී පළා ගියේය. “ඇවැත්නි බුද්ධරක්ඛිත නො සිටින්නට අපි සියල්ලෝ නින්‍දා කටයුත්තෝ නොවම්හු දැ” යි මහාස්ථවිරයන් වහන්සේ කී සේක.

 

5. පච්චවෙක්ඛණවසීය ආවජ්ජන = වසියෙහි කියන ලදී. ප්‍ර‍ත්‍යවේක්‍ෂා ජවන් ම ඒ ආවජ්ජනයෙහි ආවර්‍ජනයට අනතුරු වැ වේ.

 

මේ සඳහා පැරකුම්බා සන්නයෙහි මෙසේ දැක් වේ. “මෙහි ආවජ්ජන වසියෙන් ම ප්‍ර‍ත්‍යවේක්‍ෂා වශිය සිද්ධ වත් අධිට්ඨාන වසියෙන් ම වුට්ඨානවසිය සිද්ධවත් අවජ්ජනවසිය හා ප්‍ර‍ත්‍යවේක්‍ෂා වශයෙහි ද, අධිට්ඨානවසිය හා වුට්ඨානවසියෙහි ද වෙසෙස් කිමෙක් ද යත් :- ජවනුන්ට ධ්‍යානාඞ්ගයන් ස්ඵුට වැ නො වැටහෙතු දු ධ්‍යානාඞ්ගයෙහි නිරනතර කොටැ ආවජ්ජනය පැවැත්විය හෙන බව ආවජ්ජනවසි නම් වෙයි. ධ්‍යානාඞ්ගයන් ස්වභාව විසින් ස්ඵුට වැ පස්විකනුකොට ජවන් පැවැත්විය හෙන බව ප්‍ර‍ත්‍යවේක්‍ෂාවශී නම් වේ. සත් ජවනුන් දිවතුදු නිරන්තර කොටැ ආවජ්ජනය පැවැත්වියහෙන බැව් ආවජ්ජනවසී නම් වෙයි. වශිතා බලයෙන් සත් ජවනුන් නො වැදී සතර හෝ පස් හෝ ජවන් කෙනකුන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කටහෙන බව ප්‍ර‍ත්‍යවේක්‍ෂාවශිතා නම්. නොහොත් ඥාන විප්‍ර‍යුක්ත චිත්තයෙන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කොට හෙතු දු ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරමි යන ආවජ්ජන විථියට ඉක්බිති වැ භවඞ්ගයෙහි නො ලස් වැ වහා ධ්‍යානාඞ්ගයන් ආවජ්ජනා කට හෙන බව ආවජ්ජනවසිතා නම් වෙයි. වශිතා බලයෙන් ඥාන විප්‍ර‍යුක්ත සිතිනු දු පස්විකියහෙන බව ප්‍ර‍ත්‍යවේක්‍ෂාවශිතා නම් වේ. තමා කැමැති තෙක් කල් සමාපත්තිය පැවතෙන බව අධිට්ඨානවාසි නමි. පරිච්ඡින්න කාලය නො ඉක්මවා ධ්‍යානයෙහි ආලය හැරිය හෙන බව උට්ඨානවසී නම්. නොහොත් තමා විසින් පරිච්ඡින්න කාලය නොයික් මැ පවතු දු පරිච්ඡින්න කාලය නො උන්නු කොටැ පැවැත්විය හෙන බව අධිට්ඨානවසි නම් වෙයි. තමා පිරිසුන් කල් නො ඉක්මැ පිරිසුන් කල්හි මැ නැඟෙන බව චුට්ඨානවසී නමි. සිලිසන්‍යයෙහි වනාහි යම් යම් කසිණාලම්බනයෙහි ධ්‍යාන සමවදනා කැමැත්තහු නො ලස් වැ ඒ ඒ කිසුණු වහා ආවජ්ජනය ඉපදවිය හෙන බව ද ධ්‍යානයෙන් නැඟි ධ්‍යානාඞ්ගයන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නහු භාවාඞ්ගයෙහි නො ලස් වැ භාවාඞ්ගයෙන් නැඟි විතර්කාදි ධ්‍යානාඞ්ගයෙහි වහා ආවර්ජනා පැවැත්විය හෙන බව ආවජ්ජනවසී නමි. කිසුණෙහි වහා ආවජ්ජනා ඉපද වුව ද උපචාරයෙහි වහා ධ්‍යානයට සමවැද්දහෙන බව සමාපජ්ජනවසි නම. ඇසුරු පහරනා පමණ මඳ කලෙක්හි දු ධ්‍යානයෙහි සිටිනු කැමැත්තහු නො උනු කොටැ එතෙක් කල් ම සිටිය හෙන බව අධිට්ඨානවසි නම. පරිච්ඡන්න කාලය නො ඉක්මවා තමා සමවන් සමාපත්තියෙන් තර වැ නැඟෙන බව වුට්ඨානවසී නිම. ධ්‍යානාඞ්ගයන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නාහු යටැ කී සෙයින් මැ ඉපද වූ ආවජ්ජනයට ඉක්බිති සැහැල්ලු කොටැ වහා ප්‍ර‍ත්‍යවේක්‍ෂා ජවන් පැවැත්විය හෙන බව ප්‍ර‍ත්‍යවේක්‍ෂා වශී නම් වෙයි කීහු” ය.

 

මේ පංච වසීන්හි පුරුදු වූවහු විසින් පුහුණු වූ ප්‍ර‍ථමධ්‍යාන යෙන් නැඟී “මේ සමාපත්තියෙහි ආසන්න වූ නීවරණ සංඛ්‍යාත සතුරෝ ඇත්තාහ. විතර්‍ක - විචාර ඖදාරික බැවින් අඞ්ගයෝ ද දුර්‍වලයහ”යි. එහි දොස් දැකැ විතර්‍ක - විචාර නැති බැවින් ද්විතීය ධ්‍යාන ශාන්ත වශයෙන් සලකා ප්‍ර‍ථමධ්‍යානයෙන්හි නිකන්ති දුරු කොටැ ද්විතීය ධ්‍යානය ලබාගන්නා පිණිස භාවනාරම්භ කළ යුතු.

 

එසේ ආරම්භ කරත්ම ධ්‍යානයෙන් නැඟී සිහි නුවණ ඇති වැ ධ්‍යානාඞ්ගයන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නාවූ ඔහුට විතර්‍කය හා විචාරයා ඖදාරිකා වශයෙන් වැටහෙයි. ප්‍රීතිය හා සුඛය හා චිත්තේකග්ගතාව හා ශාන්ත වශයෙන් වැටහෙයි. එසේ වැටහෙන කල්හි හේ ඖදාරිකාඞ්ග දුරු කැරැ යනු සඳහා ද ශාන්තාඞ්ග ලබාගනු සඳහා ද ඒ යට කී නිමිත්ත ම ‘පඨවි-පඨවි’ යි නැවත නැවත මෙනෙහි කරයි. එසේ මෙනෙහි කරන්නා වූ ඔහුට මේ දැන් ද්විතීය ධ්‍යානය ලැබෙන්නේ යයි භවාඞ්ග උපචේඡද ව ඒ පඨවි කසිණය ම අරමුණු කොටැ මනොද්‍වාරාවර්‍ජනය උපදී. ඉක්බිති ඒ අරමුණ මැ එල්බ ජවන් සතරෙක් හෝ පසෙක් දිවෙයි. ඒ ජවනයන්ගේ අවසානයෙහි එක රූපාවචර දුතියජ්ඣානික ය. මොබ සෙස්ස කාමාවචර යි. මෙතෙකින් ඒ යොගි විතර්‍ක - විචාර සංසිඳීමෙන් ස්වසන්තානයෙහි උපන් සම්ප්‍ර‍සාදනයෙන් යුක්ත වූ, චිත්තයාගේ එකෝදි භාවය යි කියන ලද, විතර්‍ක - විචාර නැති, සමාධියෙන් නිපන් ප්‍රීති හා සුඛ ඇති, ද්විතීය ධ්‍යානයට පැමිණැ වාසය කරයි. එසේ ඔහු විසින් විතර්‍ක - විචාර යන අඞ්ග ද්වයයෙන් වියුක්ත වූ පීති-සුඛ-එකග්ගතා යන අඞ්ගත්‍රයෙන් යුක්ත වූ ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්‍ෂණයෙන් සමන්විත පඨවි කසිණ ද්විතීය ධ්‍යානය ලබා ගන්නා ලද්දේ වෙයි.

 

ද්විතීය ධ්‍යානයෙහි ආකාර දක්වන පාළිය මෙසේ ය :-

 

“විතක්ක විචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති - සුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති”[212] ‘විතර්‍ක - විචාර සංසිඳීමෙන්’ යනාදින් යට දක්වන ලද්දේ මෙහි අර්‍ථය යි. යළිදු එය පදානුක්‍ර‍මයෙන් පැහැදිලි කරනු ලැබේ.

 

විතක්ක විචාරානං වූපසමා = විතර්‍ක - විචාර යන මේ අඞ්ගද්වය සංසිඳීමෙන් හෙවත් ප්‍ර‍හාණ වශයෙන් ඉක්මීමෙන් ද්විතීය ධ්‍යාන ක්‍ෂණයෙහි පහළ නොවීමෙන් යයි සේ යිා. මෙහි කිය යුත්තෙක් ඇත. ප්‍ර‍ථම ධ්‍යානය පිළිබඳ කිසිම ධර්‍ම කෙනෙක් ද්විතීය ධ්‍යානයෙහි නො වෙති. ප්‍ර‍ථම ධ්‍යානයෙහි ඵස්සාදීහු අන්‍යයෝ ය. ද්විතීය ධ්‍යානයෙහි ඵස්සාදීහු අන්‍යයෝ ය. එතකුදු වුවත් ඖදාරික අඞ්ග සමතික්‍ර‍මයෙන් ප්‍ර‍ථම ධ්‍යානයෙන් අන්‍ය වූ ද්විතීය ධ්‍යානයාගේ අධිගමය වන්නේ යයි දක්වනු පිණිස “විතක්ක විචාරානං වූපසමා” යි වදාරන ලදැ යි දත යුතු.

 

අජ්ඣත්තං = මෙයින් නියකජ්ඣත්තය කියන ලදී. විභඞ්ගයෙහි අජ්ඣත්තංපච්චත්තං’යි මෙතෙක් වදාළේ ය. මෙහි නියකජ්ඣත්තය අදහස් කරන ලද බැවින් තමාගෙන් උපන් - ස්ව සන්තානයෙහි උපන් යන අර්‍ථය ගත යුතු.

 

සම්පසාදනං = මෙයින් ශ්‍ර‍ද්ධාව කියනු ලැබේ. නීලවර්‍ණ යෝගයෙන් වස්ත්‍ර‍ය ද නීල වන්නා සේ සම්ප්‍ර‍සාදන යෝගයෙන් ධ්‍යානයද සම්පසාදන වේ. නොහොත් ඒ ධ්‍යානය සම්පසාදනයෙන් යුක්ත බැවින් විතර්‍ක - විචාරයන්ගෙන් වන කැලඹුම් සංසිඳීමෙන් සිත පහදවන බැවින් සම්පසාදනය යි කියනු ලැබේ. මෙසේ අර්‍ථ ගන්නා කල්හි “සම්පසාදන චෙතසො”යි පද සම්බන්‍ධ කටයුතු. මුල කී “සම්පසාදන යොගතො සම්පදානං” යන අර්‍ථ විකලපනයෙහි “චෙතසො” යනු “එකොදි භාවං” යනු හා යෙදිය යුතුයි. මේ එහි අර්‍ථ යෝජනාව ය.

 

චෙතසො එකොදිභාවං = එකො උදෙතීති එකොදි ශ්‍රෙෂ්ඨ වැ නැඟෙන්නේ එකො දි ය. විතර්‍ක විචාරයන් විසින් අධ්‍යාරූඪ නො වන බැවින් ශ්‍රේෂ්ඨ වැ නැඟෙන්නේ ඒකොදි යයි කී සේ යි. ලෝකයෙහි ශ්‍රෙෂ්ඨ ද එක යයි කියති. විතර්‍ක-විචාර රහිත වැ - හුදෙකලා වැ - අසහාය වැ නැඟෙන්නේ හෝ ඒකොදි යයි කියනු යෙදෙයි. නොහොත් “සම්පයුත්ත ධම්මෙ උදායතිති උදි. එකො ච සො උදිචෙති එකොදි. එකොදිං භාවෙතීති එකොදිභවං”[213] ඵස්සාදි සම්ප්‍ර‍යුක්ත ධර්‍ම නඟන්නේ උදි යැ. ඒක - ශ්‍රෙෂ්ඨ උදි එකොදි යැ. එනම් සමාධිය යි. මේ සමාධි සංඛ්‍යාත ඒකොදි වඩන්නේ ඒකොදි භාවය’ එනම් ද්විතීය ධ්‍යානය යි යට දැක්වුණු ඒකොදිය සත්ත්‍වයකුගේ ජීවියකගේ නො වැ චිත්තයාගේ ය. එහෙයින් “චෙතසො එකොදිභවං”යි කියන ලදි.

 

ප්‍ර‍ශ්නයෙකි. මේ සද්ධා සංඛ්‍යාත සම්පසාදනය ද සමාධි සංඛ්‍යාත සම්පසාදනය ද සමාධි සංඛ්‍යාත ඒකොදිය ද ප්‍ර‍ථම ධ්‍යානයෙහි දු ඇත්තේ නො වේ ද කුමක් හෙයින් ද්විතීය ධ්‍යානය ම “සම්පසාදනං චෙතසො එකොදිභාවං”යි කියන ලදද

 

උත්තර මෙසේ ය :- විතර්‍ක - විචාරක්‍ෂෝභයෙන් යුත් ප්‍ර‍ථම ධ්‍යානය රළපතරින් යුත් ජලය සේ සුප්‍ර‍සන්න නො වෙයි. එ බැවින් එහි ශ්‍ර‍ද්ධාව ඇත ද එය සම්පසාදනය යි නො කියන ලදි. සම්පසාදනය නැති බැවින් ම එහි සමාධිය අප්‍ර‍කට ය. එ බැවින් එකොදිභාවය යි නො කියන ලදි. ද්විතීය ධ්‍යානයෙහි විතර්‍ක - විචාරක්‍ෂොභ නැති බැවින් ලද අවකාශ ඇති ශ්‍ර‍ද්ධාව බලවත් වැ පවතී. බලවත් ශ්‍ර‍ද්ධා ලාභයෙන් ම සමාධිය ද ප්‍ර‍කට වැ පවතී. එ හෙයින් මේ ද්විතීය ධ්‍යානය ම “සම්පසාදනං චෙතසො එකොදිභවාං”යි කියන ලදි. විභඞ්ගයෙහි ‘සම්ප සාදනංති යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො”යි ද “චෙතසො එකොදිභාවංති යා විත්තස්ස ඨිති සණ්ඨිති - පෙ - සම්මාසමාධි”[214] යි ද මේ තෙක් ම වදාළේ ය. ඒ හා සමග මේ අර්‍ථ වර්‍ණනාව අවිරුද්ධ වැ ඒකාන්තයෙන් සංසන්‍දනය වන පරිදි සැලකිය යුතු.

 

අවිතක්කං අවිචාරං - භාවනායෙන් ප්‍ර‍හාණය කරන ලද බැවින් විතර්‍කය නැත්තේ අවිතර්‍කය. එසේ ම විචාරය නැත්තේ අවිචාරය.

 

වදාළේ මැ යි :- විභඞ්ගයෙහි “ඉති අයංච විතක්කො අයංච විචාරො සන්තා හොන්ති සමිතා වූපසන්තා අත්‍ථංගතා අබහත්තංගතා අප්පිතා ව්‍යප්පිතා සොසිතා විසොසිතා ව්‍යන්තිකතා. තෙන වුච්චති අවිතක්කං අවිචාරං”[215] යි. ‘මෙසේ මේ විතර්‍කය ද මේ විචාරය ද ශාන්තය, භාවනා බලයෙන් ශමථයට පමුණුවන ලද්දේ ය, විශේෂයෙන් ශාන්තය, අස්තඞ්ගතය, විශේෂයෙන් අස්තඞ්ගතය, විනාශයට පමුණුවන ලද්දේ ය. විශේෂයෙන් විනාශයට පමුණුවන ලද්දේය. වියලවන ලදී. විගතාන්ත කරන ලදි. එහෙයින් අවිතක්ක - අවිචාරය යි කියනු ලැබේ’ යනු එහි අර්‍ථ යි.

 

ප්‍ර‍ශ්නයෙකි - “විතක්ක විචාරානං වූපසමා” යන්නෙන් ම “අවිතක්කං අවිචාරං” යනු සිද්ධ නොවේ ද යළි කුමක් හෙයින් කියන ලද ද

 

උත්තර මෙසේ ය :- සැබව, ඒ අර්‍ථය සිද්ධ ය. එහෙත් “වීතක්ක - විචාරානං වූපසමා” යනු “අවිතක්ක අවිචාරං” යන්නෙහි අර්‍ථය නො දෙයි. (ද්‍විතීය ධ්‍යානාදීන්ගේ අධිගමයට උපායදීපක වූ අජ්ඣත්තසම්පසාදනභාවයට හා චේතසො එකොදි භාවයට හේතු දීපක වූ අවිතර්‍ක - අවිචාර භාවයෙහි දු ධේතු දිපක වූ විතර්‍ක - විචාර වූපසම වචනයෙන් විතර්‍ක - විචාරයන්ගේ අභාවය දිපික නොවේ” යනු පැරකුම්බා සන්න යි.) “ඖදාරික අඞ්ග සමතික්‍ර‍මයෙන් ප්‍ර‍ථම ධ්‍යානයෙන් අන්‍ය වූ ද්විතීය ධ්‍යානාදීන්ගේ සමධිගමය වන්නේ ය. යනු දක්වනු සඳහා “විතක්ක විචාරානං වූපසමා” යනු කියන ලදැයි ආදියෙහි ම අපි කීයෙමෝ නො වමු ද

 

තවද අර්‍ථයෙකි. මේ සම්පසාදනය විතක්ක - විචාරයන්ගේ ව්‍යපශමයෙන් වන්නේ ය. ක්ලේශ කාලුෂ්‍යයාගේ ව්‍යපශමයෙන් නො වන්නේ ය. මේ එකොදිභාවය ද විතර්‍ක - විචාරයන්ගේ ව්‍යපශමයෙන් වන්නේ ය. උපචාර ධ්‍යානය මෙන් නීවරණ ප්‍ර‍හාණයෙන් හෝ ප්‍ර‍ථම ධ්‍යානය මෙන් අඞ්ග ප්‍රාදුර්‍භාවයෙන් හෝ නො වන්නේ ය. එහෙයින් “විතක්ක විචාරානං වූපසමා” යනු සම්පසාදන එකොදිභාවයන්ට හේතු දක්වන වචන යි. තවද මේ අවිතර්‍ක - අවිචාර වන්නේත් විතර්‍ක-විචාර-ව්‍යපශමයෙනි. තෘතීය ධ්‍යානය චක්‍ෂුර්විඥානාදිය මෙන් විතර්‍ක-විචාර අභාවයෙන් ම නොවේ. එබැවින් “විතක්ක විචාරානං වූපසමා” යනු අවිතර්‍ක-අවිචාරභාවයට හේතු දක්වයි. විතර්‍ක-විචාර අභාව මාත්‍ර‍ය නො දක්වයි. “අවිතක්කං-අවිචාරං” යනු ම විතර්‍ක විචාර අභාව මාත්‍ර‍ය දක්වයි. එ බැවින් “විතක්ක විචාරානං වූපසමා” යනු කීව ද “අවිතක්කං අවිචාරං” යනු ද කිය යුතු ම ය.

 

සමාධිජං = ප්‍ර‍ථම ධ්‍යානය සමාධියෙන් හෝ සම්ප්‍ර‍යුක්ත සමාධියෙන් හෝ උපන් (ප්‍ර‍ථම ධ්‍යානය ද්විතීය ධ්‍යානයට උපනිඃශ්‍ර‍ය ප්‍ර‍ත්‍ය වන බැවින් ප්‍ර‍ථම ධ්‍යාන සමාධියෙන් යි කීහ.) ප්‍ර‍ථම ධ්‍යානය ද සම්ප්‍ර‍යුක්ත සමාධියෙන් උපන්නේ නො වේ ද මේ ද්විතීය ධ්‍යානයම සමාධිජය යි. කවර හෙයින් කීහු ද විතර්‍ක විචාරක්‍ෂොභ රහිත වැ ඉතා නිශ්චල බැවින් ද සුප්‍ර‍සන්න බැවින් ද මේ ද්විතීය ධ්‍යානය ම සමාධිය යි කිය යුතු ය. එබැවින් එහි ම වර්‍ණ කථනය සඳහා “සමාධිජ” ය යි කියන ලදී.

 

“පීතිසුඛං” යට කී නියා මැ යි.

 

දුතියං = ගණන් පිළිවෙළින් හෝ දෙ වැනි උපන් බැවින් හෝ දෙ වැනි වැ සමවදින බැවින් හෝ දෙවැනි

 

“දුවඞ්ගවිප්පහිණං තිවඞ්ගසමන්තාගතං”[216] යන තන්හි විතර්‍ක-විචාරයන්ගේ ප්‍ර‍හාණ වශයෙන් ම ද්වඞ්ග විප්පහීණතාව දත යුතු. ප්‍ර‍ථම ධ්‍යානයාගේ උපචාර ක්‍ෂණයෙහි නීවරණ ප්‍ර‍හාණ වන්නා සේ ද්‍විතීය ධ්‍යානයාගේ උපචාර ක්‍ෂණයෙහි විතර්‍ක විචාරයෝ ප්‍ර‍හීණ නො වෙති. අර්පණා ක්‍ෂණයෙහි ම ද්විතීය ධ්‍යානය විතර්‍ක-විචාර නැති වැ උපදී. එ හෙයින් විතර්‍ක - විචාර ද්විතීය ධ්‍යානයාගේ ප්‍ර‍හාණාඞ්ගය යි කියනු ලැබේ. පීති - සුඛං - එකග්ගතා වශයෙන් තිවඞ්ග සමන්තාගත වේ.

 

එහෙයින් විභඞ්ගයෙහි “ඣානං ති සම්පසාදො පීති සුඛං චිත්තස්ස එකග්ගතා”[217] යි වදාළේ ය. එ ද සපරිවාර ධ්‍යානය දක්වන්නට පර්‍ය්‍යායයෙන් වදාරන ලද්දෙකි. සම්පසාදනය හැරැ නිෂ්පර්‍ය්‍යාය වශයෙන් උපනිධ්‍යාන ලක්‍ෂණයට පැමිණ අඞ්ගයන්ගේ වශයෙන් මේ තිවඞ්ග මැ යි. “කතමං තස්මිං සමයෙ තිවඞ්හිකං ඣානං හොති පීති සුඛං චිත්තස්සෙකග්ගතා”[218] යි එහෙයින් වදාළේ ය. (රථයට පාණ්ඩුකම්බලය මෙන් සම්ප්‍ර‍සාදනය ධ්‍යානයට පරිවාර වෙයි. ධානාඞ්ග නො වෙයි. කී සේය.) සෙස්ස ප්‍ර‍ථම ධ්‍යානයට කි නියා මැයි.

 

තෘතීය ධ්‍යානය උපදවන ආකාරය.

 

මෙසේ ලැබැ ගත් ද්විතීය ධ්‍යානයෙහි යට කීසේ පස් ආකාරයකින් චීර්‍ණවශී වූවහු විසින් ප්‍ර‍ගුණ වූ ඒ ද්විතීය ධ්‍යානයෙන් නැඟී “මේ සමාපත්තිය ආසන්න වූ විතර්‍ක - විචාර සංඛ්‍යාත සතුරන් ඇත්තේ ය. එහි පවත්නා ප්‍රීතිය ද සිත උල්පවන්නෙකි. එ බැවින් එය ඖදාරික සේ වැටහේ. එය ඖදාරික බැවින් ම එහි අඞ්ග ද දුර්‍බලය”යි ද්විතීය ධ්‍යානයෙහි දෝෂ දැක තෘතීය ධ්‍යානය ශාන්ත වශයෙන් සලකා ඒ ද්විතීය ධ්‍යානයෙහි ආශාව දුරු කොටැ තෘතීය ධ්‍යානය ලබාගන්නා පිණිස භාවනා කටයුතු. එසේ භාවනාරම්භ කරන්නා ද්විතීය ධ්‍යානයෙන් නැඟි නුවණ ඇති වැ ධ්‍යානාඞ්ග ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරත් ම ඔහුට ප්‍රීතිය ඖදාරික වශයෙන් වැටහෙයි සුඛය හා එකග්ගතාව ශාන්ත වශයෙන් වැටහෙයි. එවිට හේ ඖදාරිකාඞ්ගය දුරු කරනු පිණිස ද, ශාන්තාඞ්ග ලබනු පිණිස ද ඒ නිමිත්තම “පඨවි පඨවි” යි නැවත නැවත මෙනෙහි කරයි. එසේ මෙනෙහි කරත්ම දැන් තෘතිය ධ්‍යානය උපදින්නේ ය යි භාවඞ්ග සිඳි ඒ පඨවී කසිණය ම අරමුණු කොටැ මනෝද්වාරාවර්‍ජනය උපදී. ඉක්බිති එ ම අරමුණු කොටැ ජවන් සතරෙක් හෝ පසෙක් දිවෙයි. එහි අවසාන ජවනය රූපාවචර තෘතීය ධ්‍යානය යි. මොබ සෙස්ස යට කී සේ කාමාවචර ය. මෙතෙකින් ඒ යොගී

 

“පීතියා ච චිරාගා උපෙක්ඛකො ච විහරති යතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති. යං තං අරියා ආවික්ඛන්ති “උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති[219] යි දැක්වුණු පරිදි ඒකාඞ්ගයෙකින් අඩු වූ අඞ්ගද්වයකින් සමන්විත වූ ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්‍ෂණයෙන් යුත් පඨවි කසිණ තෘතීය ධ්‍යානය ලැබැ ගත්තේ වෙයි.

 

“පීතියා ච විරාගා” යනාදියෙහි පදානුක්‍ර‍ම විවරණය මෙසේ ය.

 

පීතියාච විරාගා = යට දැක්වුණු ආකාර ඇති ප්‍රීතිය පිළිබඳ පිළිකුල් කිරීමෙන් හෝ ඉක්මීමෙන්, මෙහි “ච” ශබ්ද සම්පිණ්ඩනාර්‍ථ යි. එයින් සම්පිණ්ඩණය කරන්නේ ප්‍රීතියේ හා විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමය යි. ප්‍රීති ව්‍යුපශමය සම්පිණ්ඩනය කරන කල්හි ප්‍රීතියෙන් විරාගයෙන්, වැළි ප්‍රීති ව්‍යුපශමයෙන් යි පද යෝජනා කටයුතු ය. මෙහි විරාග නම් ජිගුච්ඡනය යි. පිළිකුල් කිරීම යි. එබැවින් ප්‍රීතියෙහි ජුගුප්සාවෙන් හා ප්‍රීතිය සමතික්‍ර‍මයෙන් යන අර්‍ථය දත යුතු. විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමය සම්පිණ්ඩනය කරන කල්හි ප්‍රීතියෙහි විරාගයෙන් වැළි ‘විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන්’යි පද යෝජනා කටයුතු. මෙහි විරාගය සමතික්‍ර‍මණාර්‍ථ යි. එහෙයින් ප්‍රීතිය සමතික්‍ර‍මණය කිරීමෙන්, විතර්‍ක විචාර ද ව්‍යුපශමනය කිරීමෙන් යි එවිට අර්‍ථ ගත යුතු.

 

විතර්‍ක - විචාර ද්විතීය ධ්‍යානයෙහි දී සන්සිඳුණේ නො වේ ද, මෙහි යළිදු කුමක් හෙයින් ගනු ලැබේද යනු මෙහි ලා ප්‍ර‍ශ්නයෙකි.

 

මේ ධ්‍යානයට මාර්‍ග දක්වනු පිණිස හා ගුණ කියනු පිණිසය යනු උත්තරයි. එහි විස්තරය මෙසේ දත යුතු.

 

විතර්‍ක[220] විචාර ව්‍යුපශමය මේ ධ්‍යානයට එකාන්ත මාර්‍ගයෙකි. ද්විතීය ධ්‍යානය නො ලද හොත් තෘතීය ධ්‍යානය නො ලද හැකි බැවින් විතර්‍ක විචාර සමතික්‍ර‍මණය තෘතීය ධ්‍යාන ලාභයට මාර්‍ග යි. මේ පළමු වන උත්තරයේ විස්තර යි. අනාගාමී මාර්‍ගය දක්වන තන්හි “පඤ්චන්තං ඔරමභාගියාන සංයොජනානං පහාණා”[221] යි. එයින් නො පහනු ලබන සක්කායදිට්ඨි ආදීන්ගේ ද ප්‍ර‍හාණය දක්වනුයේ එහි ගුණ කීම ය. එය ලබාගනු සඳහා උත්සාහ උපදවීම සඳහා ය. එමෙන් මෙහිදු මෙයින් නොසන්සිඳෙන විතර්‍ක-විචාර ව්‍යුපශමය කීම එහි ගුණ කීම යි.

 

උපෙක්ඛකො ච විහරති = උප්පත්තිතො ඉක්ඛති ති උපෙක්ඛා-යුක්ති වශයෙන් බලන්නේ උපේක්‍ෂා ය. පක්‍ෂපාත නොව සම වැ බලන්නේ යයි සේයි. ව්‍යක්ත වූ විපුල වූ ස්ථිරත්‍වයට පැමිණි ඒ උපේක්‍ෂායෙන් යුත් බැවින් තෘතීය ධ්‍යාන සමංගී පුද්ගල උපේක්‍ෂකය යි කියනු ලැබේ. (ව්‍යක්තත්‍වය සංකේලශ විගමනයෙනි. විපුලත්‍වය මහද්ගත භාවයට පැමිණීමෙනි. ස්ථිරත්‍වය ප්‍රීති විගමයෙනි.) උපේක්‍ෂාව දස වැදෑරුම් වේ.

 

දශවිධ උපේක්‍ෂා

 

1. ෂඩඞ්ගොපෙක්‍ෂා,  2. බ්‍ර‍හ්මවිහාරොපෙක්‍ෂා,  3. බොධ්‍යඞ්ගොපෙක්‍ෂා,  4. වීර්‍ය්‍යාපෙක්‍ෂා,  5. සංස්කාරොපෙක්‍ෂා,  6. වෙදනොපෙක්‍ෂා,  7. විදර්‍ශනොපෙක්‍ෂා,  8. තත්‍ර‍මධ්‍යත්‍වොපෙක්‍ෂා,  9. ධ්‍යානොපෙක්‍ෂා,  10. පාරිශුද්ධපෙක්‍ෂා යනු ඒ දශයයි.

 

1.  ෂඩඞ්ගොපෙක්‍ෂාව

 

“ඉධ ඛීණාසවො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො”[222] ක්‍ෂීණාශ්‍ර‍ව භික්‍ෂු ඇසින් රූප දැකැ සොම්නස් නො ද වෙයි. දොම්නස් නො ද වෙයි. සිහි නුවණ ඇති වැ උපේක්‍ෂක වැ වාසය කෙරෙයි’ මෙහි දැක්වුණු සේ රහතන්ගේ චක්‍ෂුරාදි සදොර ඉෂ්ට අනිෂ්ට අරමුණු වැටීමෙහි දී පිරිසිදු වූ ප්‍ර‍කෘතිය නො වෙනස් වීම් ආකාරයෙන් පැවති යම් උපේක්‍ෂාවෙක් වේ ද එය ෂඩඞේගාපේක්‍ෂාය යි කියනු ලැබේ. ඡළඞ්ගුපෙක්ඛා යනු පාළි යි.

 

2.  බ්‍ර‍හ්ම විහාරොපෙක්‍ෂාව

 

“උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං එරිත්‍වා විහරති”[223] ‘උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරා වාසය කරයි’. මෙහි දැක්වුණු සත්ත්‍වයන් කෙරෙහි මධ්‍යස්ථාකාර වූ යම් උපේක්‍ෂාවෙක් වේ ද එය බ්‍ර‍හ්මවිහාරෝපෙක්‍ෂා යි.

 

3.  බොධ්‍යඞ්ගොපේක්‍ෂාව

 

“උපෙක්ඛාසම්බොජ්ඣගං භාවෙති විවෙක නිස්සීතං”[224] ‘විවෙක නිඃශ්‍රිත වූ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි’ යන මෙහි දැක්වුණු සහජාත ධර්‍ම අතුරෙන් මධ්‍යස්ථාකාරවූ යම් උපේක්‍ෂාවෙක් වේ ද එය බොධ්‍යඞ්ගොපෙක්‍ෂා යි. (“භාවනාව වීථි ප්‍ර‍තිපන්න කල්හි අලීනානුඬත අනිරාස්වාද භාවයෙන් ප්‍ර‍ග්‍ර‍හ නිග්‍ර‍හ සම්ප්‍ර‍හර්‍ෂනයෙහි ව්‍යාපාරයක් නැති හෙයින් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් කෙරෙහි මධ්‍යස්ථාකාරයෙන් පවත්නා” උපේක්‍ෂාව බොජ්ඣඞ්ගුපෙක්ඛාය යි සේ යි.

 

4.  වීර්‍ය්‍යාපෙක්‍ෂාව

 

“කාලෙන කාලං උපෙක්ඛා නිමිත්තං මනසිකරොති”[225] ‘කලින් කල උපෙක්ඛා නිමිත්ත මෙනෙහි කරයි’ යන මෙහි දැක්වුණු පමණ ඉක් මැ පටන් නො ගන්නා ලද පමණ ඉක් මැ ලිහිල් නො කරන ලද වීර්‍ය්‍ය සංඛ්‍යාත යම් උපේක්‍ෂාවෙක් වේ ද එය වීර්‍ය්‍යාපේක්‍ෂා යි (ලීනුද්ධච්චපක්ඛපාතරහිතං මජ්ඣත්තං වීරියං උපෙක්ඛා” යනු ටීකා යි.) මධ්‍යස්ථකාරයෙන් පවත්නා වීර්‍ය්‍යය ම ආකාරය ගෙනැ පැවැත්විය යුතු වූ එබඳු වීර්‍ය්‍යයට නිමිත්ත වන බැවින් උපේක්‍ෂා නිමිත්ත නම් වේ යනු සන්න යි.)

 

5.  සංස්කාරොපෙක්‍සාව

 

“කති සඞ්ඛාරුපෙක්ඛා සමාධිවසෙන උප්පජ්ජන්ති. කති සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්ති. අට්ඨ සඞ්ඛාරු පෙක්ඛා සමාධිවසෙන උප්පජ්ජන්ති. දස සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්ති[226] යන මෙහි දැක්වුණු නීවරණාදීන් පරීක්‍ෂාකොටැ සනිටුහන් වශයෙන් සිටිනාවූ ආදීනව දුටු හෙයින් නීවරණාදීන් ගැන්මෙහි මධ්‍යස්ථ වූ යම් උපේක්‍ෂාවෙක් වේ ද එය සංස්කාරොපේක්‍ෂා යි ‘සංස්කාරොපේක්‍ෂා කීදෙනෙක් සමථ වශයෙන් උපදිත් ද, සංස්කාරොපේක්‍ෂා කීදෙනෙක් විදර්‍ශනා වශයෙන් උපදිත් ද, සංස්කාරොපේක්‍ෂා අටදෙනෙක් සමථ වශයෙන් උපදති සංස්කාරොපේක්‍ෂා දස දෙනෙක් විදර්‍ශනා වශයෙන් උපදිත්’ යනු පෙළේ අර්‍ථ යි.

 

සමථ වශයෙන් ලැබෙන අෂ්ට සංස්කාරොපෙක්‍ෂා ප්‍ර‍කාශක පාළිය මෙසේ ය - පඨමජ්ඣාන පටිලාභත්‍ථාය නීවරණෙ පටිසඞ්ඛාසන්නිට්ඨානා පඤ්ඤා සංකාරුපෛක්ඛාසු ඤාණං දුතියජ්ඣාන පටිලාභත්‍ථාය විතක්කවිචාරෙ-තතියජ්ඣාන - පටිලාභත්‍ථාය පීතිං-චතුත්‍ථජ්ඣාන පටිලාභත්‍ථාය සුඛදුක්ඛෙ - ආකාසානඤ්චායතන සඤ්ඤසමාපත්ති පටිලාභත්‍ථාය රූපසඤ්ඤා පටිඝසඤ්ඤං-නානත්තසඤ්ඤං - විඤ්ඤාණඤ්චායතන සමාපත්ති පටිලාභත්‍ථාය ආකාසානඤ්චායතනසඤ්ඤං - ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති පටිලාභත්‍ථාය විඤ්ඤාණඤ්චා-යතන සඤ්ඤං - නෙවසඤ්ඤානාසංඤ්ඤයතන සමාපත්ති පටිලාභත්‍ථාය ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤං - පටිසඞ්ඛා-සනනිට්ඨානාපඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං ඉමා අට්ඨ සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති[227]

 

විදර්‍ශනා වශයෙන් ලැබෙන දශ සංස්කාරොපේක්‍ෂා ප්‍ර‍කාශක පාළිය මෙසේ ය :- සොතාපත්තිමග්ග පටිලාභත්‍ථාය උප්පාදං පවත්තං නිමිත්තං ආයූහනං පටිසන්‍ධිං ගතිං නිබ්බත්තිං උප්පත්තිං ජාතිං ජරං ව්‍යාධිං මරණං සොක පරිදෙවං උපායාසං - පෙ- සොතාපත්ති ඵලසමාපන්තත්‍ථාය උප්පාදං පවත්තිං -පෙ- අරහත්ත මග්ග පටිලාභත්‍ථාය උප්පාදං -පෙ- උපායාසං -පෙ- අරහත්ත ඵලසමාපත්තත්‍ථාය සුඤ්ඤතා විහාර සමාපන්නත්‍ථාය අනිමිත්ත විහාර සමාපන්න ත්‍ථාය උප්පාදං පවත්තං නිමිත්තං ආයූහනං පටිසන්‍ධිං ගතිං නිබ්බත්තිං උප්පත්තිං ජාතිං ජරං ව්‍යාධිං මරණං සොකං පරිදෙවං උපායාසං පටිසඞ්ඛා සන්නිට්ඨානා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණංති ඉමා දස විපස්සනා වසෙන උප්පජ්ජන්ති[228]

 

 

 

6.  වෙදනොපෙක්‍ෂාව

 

“යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛා සහගතං[229] ‘යම් කලෙක කාමාවචර උපේක්‍ෂා සහගත කුසල සිත උපන්නේ ද’ යන මෙහි දැක්වුණු යම් අදුක්ඛමසුඛ නම් උපේක්‍ෂාවෙක් වේද එය වේදනොපෙක්‍ෂාව යි.

 

 

7.  විදර්‍ශනොපෙක්‍ෂාව

 

“යදත්‍ථිං යං භූතං තං පජහති උපෙක්ඛං පටිලභති”[230] ‘යමෙක් වේ ද යමෙක් විණි ද එය දුරු කරයි. උපේක්‍ෂාව ලබයි.’ යන මෙහි දැක්වුණු අනිත්‍යාදි වශයෙන් සම්මර්‍ශනයෙන් මධ්‍යස්ථ වූ යම් උපේක්‍ෂාවෙක් වේ ද එය විදර්‍ශනොපෙක්‍ෂාව යි.

 

8.  තත්‍ර‍මධ්‍යත්‍වොපේක්‍ෂාව

 

ජන්‍දාදි “යෙවාපනක” ධර්‍මයන් ඇතුළත් සහජාත ධර්‍ම සම වැ ඉසිලීමට කාරණ වූ යම් උපේක්‍ෂාවෙක් වේ ද එය තත්‍ර‍මජ්ඣත්තුපෙක්ඛා යි. (“යෙවාපනක” ධම්මසඞ්ගණියෙහි[231] බලනු.)

 

9.  ධ්‍යානොපෙක්‍ෂාව

 

“උපෙක්ඛකො ච විහරති” උපෙක්‍ෂක වැ වෙසේ යන මෙහි දැක්වුණු අග්‍ර‍ වූ ධ්‍යාන සුඛයෙහි පක්‍ෂපාත නො දනවන යම් උපේක්‍ෂාවෙක් වේද එය ධ්‍යානෝපෙක්‍ෂාව යි.

 

10.           පාරිසුද්ධි උපේක්‍ෂාව

 

“උපෙක්ඛා සතිපාරිසුද්ධිංං චතුත්‍ථජ්ඣානං”[232] උපෙක්‍ෂා ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්‍ථධ්‍යානය’ යන මෙහි දැක්වුණු නීවරණ-විතර්‍ක-විචාරාදි සියලු ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මයන්ගෙන් පිරිසිදු වූ ප්‍ර‍තිපක්‍ෂ ධර්‍ම සංසිඳුවීමෙහි ද උත්සාහ රහිත වූ යම් උපේක්‍ෂාවෙක් වේ ද එය පාරිසුද්ධි උපේක්‍ෂා යි.

 

මේ දශවිධ උපේක්‍ෂා අතුරෙන් ෂඩඞේගාපේක්‍ෂා බ්‍ර‍හ්ම විහාරොපේක්‍ෂා බොධ්‍යඞේගාපේක්‍ෂා තත්‍ර‍මධ්‍යත්‍වොපේක්‍ෂා ධ්‍යානොපෙක්‍ෂා පාරිශුද්ධ්‍යුපේක්‍ෂා යන සය අර්‍ථ වශයෙන් එකම තත්‍ර‍මජ්ඣත්තුපේක්‍ෂාව ම ය. එක ම පුද්ගලයා කුමාර-තරුණ-මහලු-සෙනෙවි-රජ ආදි වශයෙන් බෙදී යන්නා සේ මෙ ද ඒ ඒ අවස්ථා භේදයෙන් බෙදී ගියේ ය. එ බැවින් ඡලඞ්ගුපේක්‍ෂා ඇති තැනැ බොජ්ඣඞ්තුපේක්ඛාදිය ද බොජ්ඣඞ්ගුපේක්ඛා ඇති තැන ඡළඞ්ගුපේක්ඛාදිය ද නො වන බව දත යුතු.

 

යට දැක්වුණු උපේක්‍ෂා අර්‍ථ වශයෙන් එකක් වූ සේ ම සංස්කාරොපේක්‍ෂාව හා විදර්‍ශනොපේක්‍ෂාව ද අර්‍ථ වශයෙන් එකෙක්ම ය. ඒ වනාහි එකම ප්‍ර‍ඥාව කෘත්‍ය වශයෙන් ද්විවිධ වූ සැටියි. පුරුෂයෙක් සවස ගෙට වන් සර්‍පයකු අජපද දණ්ඩ ගෙනැ සොයන්නේ බොල්ගොඩෙහි හොත්තා දැකැ සර්‍පයා දෝ නොවේ දෝයි සැක ඇති වැ නැවත නැවත පිරික්සන්නේ සෝවැති තුන දැකැ සැකය දුරුවා ඌ සෙවීමෙහි උපේක්‍ෂා වන්නේ ද එමෙන් ආරබ්ධ විදර්‍ශක විදර්‍ශනා ඥානයෙන් තිලකුණු දුටු කල්හි නැවත සංස්කාරයන්ගේ අනිත්‍යත්‍වාදිය සෙවීමෙහි උපේක්‍ෂා වන්නේ ය. එය විදර්‍ශනොපේක්‍ෂා ය. වැළි ඒ පුරුෂයා අජපද දණ්ඩෙන් සර්‍පයා දැඩි වැ තද කොටැ ගෙනැ “මම කෙසේ මූට ද නොරිද වා මා ද දෂ්ට කරවා නොගෙන මුගෙන් මිදී යෙම් දැ”යි ඌ මුදාලන ආකාරය සලකමින් ගැන්මෙහි මධ්‍යස්ථ වන්නේ ද එමෙන් ඒ විදර්‍ශක තිලකුණු දුටු බැවින් භවත්‍ර‍ය ගිනි ඇවිළ ගත්තා සේ සලකා සංස්කාර ග්‍ර‍හණයෙහි මධ්‍යස්ථ වන්නේ ය. එය සංස්කාරොපේක්‍ෂා යි. මෙසේ විදර්‍ශනොපේක්‍ෂාව සිද්ධ කල්හි සංස්කාරොපේක්‍ෂාව ද සිද්ධ මය. (සෝවැති තුන දුටුවහුට සර්‍ප ලක්‍ෂණ විචාරයෙහි මෙන් තුන් ලකුණු දුටුවහුට සංස්කාරයන්ගේ නිත්‍යාදි ලක්‍ෂණ දෘෂ්ට හෙයින් සංස්කාර ලක්‍ෂණ විචාරයෙහි උපේක්‍ෂා ම වෙයි. සංස්කාරයන්ගේ මැදහත් වූ විදර්‍ශනොපේක්‍ෂාව සිද්ධ කල්හි දෘෂ්ටාදීනව වූ ඒ සංස්කාරයන් ග්‍ර‍හණයෙහි අධ්‍යාශය සර්‍ව සංස්කාර නිමිති හෙයින් උපේක්‍ෂාව ද සිද්ධ වෙයි දත යුතු යනු පැරකුම්බා සන්න යි.) සෙවීමෙහි හා ගැනීමෙහි මධ්‍යස්ථා සංඛ්‍යාත කෘත්‍යයෙන් මේ උපේක්‍ෂාප්‍ර‍ඥාව මෙසේ ද්විධ විය.

 

වීර්‍ය්‍යාපේක්‍ෂාව හා වේදනොපේක්‍ෂාව ඔවුනොවුන් හා ද සෙසු උපේක්‍ෂාවන් හා ද අර්‍ථ වශයෙන් හින්න මැයි.

 

දශවිධ උපේක්‍ෂා භේද යි.

 

දශවිධ උපේක්‍ෂා අතුරෙන් මෙහිලා ගත යුත්තේ ධ්‍යානොපේක්‍ෂා ය. ධ්‍යානෝපේක්‍ෂායෙහි ලක්‍ෂණය මධ්‍යස්ථ භාවය යි. රසය අනාභෝගය යි හෙවත් මෙනෙහි නො කරන බව යි. පච්චුපට්ඨානය අව්‍යාපාරය යි. හෙවත් ප්‍ර‍හීණ වූ ද සුවෙහි ව්‍යාපාර නැති බව යි. පදට්ඨාන ප්‍රීතිවිරාග යයි.

 

ප්‍ර‍ශ්නයෙන් නඟී. මෙහි දැක්වෙන උපේක්‍ෂාව ද අර්‍ථ වශයෙනි තත්‍ර‍මජ්ඣත්තුපෙක්ඛාවම නො වේ ද එය ප්‍ර‍ථම ද්‍විතීය ධ්‍යානයන්හිදු ඇති බැවින් එහිදු “උපේක්ඛකො විහරති”යි වදාළ යුතු නො වේ ද කුමක් හෙයින් එසේ නො වදාළේ ද

 

උත්තර මෙසේ යි.

 

සැබෑව! එහිදු ඇත්තේ ය. එහෙත් එහි නො වදාළේ එහි පවත්නා උපේක්‍ෂාව පරිව්‍යක්ත කෘත්‍ය රහිත බැවිනි. (එහි පවත්නා උපෙක්‍ෂාවගේ කෘත්‍යය) විතර්‍කාදීන් අභිභූත බැවින් පරිව්‍යක්ත නොවේ. මෙහි එයින් අනභිභූත බැවින් හිස එසවූ සේ පරිව්‍යක්ත ය. එ හෙයින් මෙහිම වදාරන ලද්දේ ය.

 

“උපෙක්ඛකො ච විහරති” යනුයෙහි අර්‍ථ වර්‍ණනාව යි.

 

“සතො ච සම්පජානො”

 

‘සරතීති සතො සම්පජානාතී ති සම්පජානො’ සිහිකරන්නේ “සතො” ය. මනාකොට දන්නේ “සම්පජානො” ය. පුද්ගලාධිෂ්ඨාන වශයෙන් සතිය සම්ප්‍ර‍ඥාව කියූ තැනි. සිහියෙන් යුක්ත වූයේ සම්‍යක් ප්‍ර‍ඥායෙන් යුක්ත වූයේ යනු අර්‍ථයි. මෙහි සතිය සිහිකිරීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. සිහිමුළා නො වීම කෘත්‍ය කොටැ ඇත්තේ ය. කෙලෙසුන් කෙරෙන් ආරක්‍ෂාව පච්චුපට්ඨාන කොටැ ඇත්තේ ය. සම්පජඤ්ඤය මුළා නොවීම ලක්‍ෂණ කොටැ ඇත්තේ ය. තීරණය කෘත්‍ය කොටැ ඇත්තේ ය. වීමංසාව පච්චුපට්ඨාන කොටැ ඇත්තේ ය.

 

මෙහිදු ප්‍ර‍ශ්නයෙකි.

 

මේ සති-සම්පජඤ්ඤ යට ධ්‍යානයන්හි ඇත්තේ නො වේ ද සිහි-නුවණ නැතියාහට අර්පණා තිබේ වා. උපචාර මාත්‍රයෙකු දු නො ලැබෙයි.

 

පිළිතුරු මෙසේ ය.

 

විතර්‍කාදි ස්ථූලාඞ්ග ඇති බැවින් යට ධ්‍යාන ඖදාරික ය. එසේ ඒ ධ්‍යාන ඖදාරික බැවින් පුරුෂයකු හට පොළොවෙහි ගමන පහසුවන්නා සේ එහි චිත්තයාගේ ගමන පහසු වන්නේ ය. එහෙයින් එහි සති-සම්පජඤ්ඤ පිළිබඳ කෘත්‍යය ව්‍යක්ත නොවේ. මෙහි ඖදාරිකාඞ්ග නැති බැවින් මෙය සූක්‍ෂම ය. එබැවින් මෙහි පුරුෂයකුගේ කර මුවහතෙහි ගමන් මෙන් සති-සම්පජඤ්ඤ කෘත්‍යයෙන් යුක්ත වූ ම චිත්තයාගේ ගමන කැමැති විය යුතු ය. එබැවින් මෙහි ම ‘සතො සම්පජානො’ යි දැක්විණි.

 

තවද කිරිවස්සා දෙනගෙන් ඉවත් කරන ලද්දේ නමුදු ඉදින් රැක නො ගන්නා ලද්දේ නම් නැවත දෙන කරාම දුවන්නේ ය. තෘතීය ධ්‍යාන සුඛය ද ප්‍රීතියෙන් ඉවත් කරන ලද්දේ ඉදින් සති-සම්පජඤ්ඤයෙන් නො රක්නා ලද්දේ නම් නැවත ප්‍රීතියටම පැමිණෙන්නේ ය. (ද්විතීය ධ්‍යානයට ම පැමිණෙන්නේ යයි සේයි) ප්‍රීති සම්ප්‍ර‍යුක්ත ම වන්නේ ය. සත්ත්‍වයෝ සුවයෙහි ඇලෙති. මෙයට වඩා සුවයක් නැති බැවින් මෙය අති මධුර සුවය යි සති-සම්පජඤ්ඤානුභාවයෙන් ම සුවයෙහි නො ඇල්ම විය යුතු ය. සුවයෙහි නො ඇල්මට වෙන මේතු නැත. මෙ ද දක්වන්නට “සතො සම්පජානො” යනු මෙහි ම දක්වන ලදැ යි දත යුතුයි.

 

සුඛං ච කායෙන පටි සංවෙදෙති = කයෙන් සුව ද විඳින්නේ ය. තෘතීය ධ්‍යානයෙන් යුක්ත වූ යෝගී හට “මම සුව විඳිමි” යන අභෝගයෙක් - කල්පනාවෙක් නැත. එතකුදු වුවද හේ නාමකාය හා සම්ප්‍ර‍යුක්ත වූ යම් සුවයෙක් ඇද්ද එය විඳින්නේ ය. තවද නාමකාය හා සම්ප්‍ර‍යුක්ත වූ ඒ සුවයෙන් නිපන් අතිප්‍ර‍ණීත වූ රූපයෙන් ඔහුගේ රූපකාය ස්පර්‍ශ වන්නේ ය. එයින් හේ ධ්‍යානයෙන් නැගී සිටියේ ද කායික සුව අනුභව කෙරෙයි. “සුඛං ච කායෙන පටිසංවෙදෙති” යනු වදාළේ එහෙයිනි. (නාම කායයෙන් චෛතසික සුඛය ද කායික සුඛ හේතු වූ රූපය ඉපදවීමෙන් කායික සුඛය ද ධ්‍යාන සමන්විතයා අනුභව කෙරෙයි යි කියනු ලැබෙයි. මේ මෙහි සංක්‍ෂෙපාර්ථයි යනු පැරකුම්බා සන්නයි.)

 

යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති - යම් ධ්‍යානයක් හේතු කොටැ ගෙනැ බුද්ධාදි ආර්‍ය්‍යයෝ ඒ තෘතීයධ්‍යාන සමඞ්ගි පුද්ගලයා හට “උපෙක්ඛකො සතිමා සුඛවිහාරී”යි ප්‍ර‍ශංසා කරත් ද ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි යනු එහි අර්‍ථ යි. කුමක් හෙයින් උන්වහන්සේ ඔහුට එසේ ප්‍ර‍ශංසා කරනසේක්ද ප්‍ර‍ශංසාවට සුදුසු බැවින්. ඒ එසේ මැ යි:-

 

මේ තෙමේ ඉතා මිහිරි සුව ඇති - සුවයාගේ පරතෙරට පත් - තෘතීය ධ්‍යානයෙහි ද “උපේක්‍ෂකය” ය යනු සුඛාභිලාෂයෙන් නො අදනු ලැබෙයි. ප්‍රීතිය නූපදනා පරිදි සිහි එළවා සිටින බැවින් ස්මෘතිමත් ය. ආර්‍ය්‍යකාන්ත වූ ආර්‍ය්‍ය ජන නිසේවිත වූ අසංක්ලිෂ්ට වූ සුඛය නාමකායයෙන් විඳින බැවින් සුඛ විහාරී ය. එ හෙයින් එසේ ප්‍ර‍ශංසාර්‍භ ය, එ හෙයින් ම ආර්‍ය්‍යයෝ ඔහුට “උපෙක්ඛකො සතිමා සුඛ විහාරී” යයි ප්‍ර‍ශංසා කරති යි දතයුතු.

 

තතියං” ගණන් පිළිවෙළින් ද තුන් වැනි වැ සමවදින බැවින් ද මේ “තතිය” යි.

 

එකඞ්ග විප්පහීණං දුවඞ්ග සමන්තාගතං = එකාඞ්ගයෙකින් විප්‍ර‍හීණ වූ, අඞ්ගද්වයෙකින් සමන්විත වූ, මෙහි එකාඞ්ග විප්‍ර‍හීණත්‍වය ප්‍රීති ප්‍ර‍හාණ වශයෙන් වූවෙකි. ප්‍රීතියෙහි ද්විතීය ධ්‍යානයෙහි විතර්‍ක-විචාර මෙන් අර්‍පනාක්‍ෂණයෙහි ම ප්‍ර‍හීණ වන්නේ ය. එබැවින් එය ප්‍ර‍හාණාඞ්ගය යි කියන ලදි. සුඛ චිතේතකග්ගතා ඉපදීම් වශයෙන් අඞ්ගද්වයෙන් සමන්විත විය. එහෙයින් විභඞ්ගයෙහි “ඣානංති උපෙක්ඛා සතිපම්පජඤ්ඤං සුඛං චිත්තස්සේකග්ගතා”[233] යි වදාළේ ය. එසේ වදාළේ පර්‍ය්‍යාය වශයෙන් සපරිවාර ධ්‍යානය දක්වනු සඳහා ය. උපේක්‍ෂාව හා සතිසම්පජඤ්ඤ හැරැ නිෂ්පර්‍ය්‍යාය වශයෙන් උපනිධ්‍යාන ලක්‍ෂණයට පැමිණි අඞ්ගයන්ගේ වශයෙන් මෙය දුවඞ්ගික යි.

 

වදාළේ මැ යි.

 

“කතමං තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති සුඛං චිත්තස්සේකග්ගතා”[234] යි. සෙස්ස ප්‍ර‍ථම ධ්‍යානයෙහි කී පරිදිම ය.

 

තෘතීය ධ්‍යානය පිළිබඳ විස්තරය යි.

චතුර්‍ථධ්‍යානය ලබාගත යුතු ක්‍ර‍මය

 

යට දැක්වුණු සේ ලබා ගත් තෘතීය ධ්‍යානයෙහි ආවර්‍ජනාදි පස් ආකාරයෙන් චීර්‍ණවශී වැ ප්‍ර‍ගුණ වූ එයින් නැගී “මේ සමාපත්තිය ආසන්න වූ ප්‍රීති නමැති පසමිතුරෙක් ඇත්තේ ය. මෙහි පවත්නා සැපය යන අභෝගයෙන් මෙය ඖදාරික සේ ද වැටහෙයි. එහෙයින් ම එය අඞ්ග දුර්‍වලය”යි එහි දොස් දැකැ චතුර්‍ථ ධ්‍යානය ශාන්ත වශයෙන් සලකා තෘතීය ධ්‍යානයෙහි අපේක්‍ෂාව හැරැ පියා චතුර්‍ථධ්‍යානය ලබාගන්නා පිණිස භාවනාරම්භ කටයුතු යි.

 

තෘතීය ධ්‍යානයෙන් නැඟී සිහි නුවණ ඇති වැ ඒ යෝගාවචර එසේ භාවනාරම්භ කොටැ ධ්‍යානාඞ්ග ප්‍ර‍ත්‍යවේක්‍ෂාකරත් ම ඔහුට චෛතසික සෞමනස්‍ය සඞ්ඛ්‍යාත සුඛය ඖදාරික වශයෙන් ද, උපේක්‍ෂාවේදනාව හා චිතේතකාග්‍ර‍තාව ශාන්ත වශයෙන් ද වැටහෙයි. එවිට හේ ඖදාරිකාඞ්ග ප්‍ර‍හාණය පිණිස හා ශාන්තාඞ්ග ප්‍ර‍තිලාභය පිණිස ඒ කසිණ නිමිත්තයම “පඨවි - පඨවි”යි නැවත නැවත මෙනෙහි කරන්නේ ය. එසේ මෙනෙහි කරත් ම දැන් චතුර්‍ථ ධ්‍යානය උපදී යයි භාවාඞ්ග සිඳී. ඒ පඨවි කසිණය ම අරමුණු කොටැ මනොද්‍වරාවර්‍ජනය උපදී. ඉක්බිති එයම අරමුණු කොටැ ජවන් සතර හෝ පස දිවේ. එයින් අවසාන ජවනය රූපාවචර චතුර්‍ථධ්‍යානිකය. සෙස්ස යට කීසේ කාමාවචර යි.

 

මෙහි කිය යුතු විශේෂයක් ඇති :- සුඛ වේදනාව, අදුක්ඛමසුඛ වේදනාවට ආසේවනප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය නොවේ. චතුර්‍ථ ධ්‍යානයෙහි ලැබිය යුත්තේ අදුක්ඛමසුඛ වේදනාවය. එබැවින් ඒ සතර - පස් ජවන් උපේක්‍ෂාවේදනා සම්ප්‍ර‍යුක්තය. එ බැවින් එහි ප්‍රීතිය නො වන්නේ ය.

 

මෙතෙකින් ඒ යෝගාවචර “සුඛස්සච පහාණා දුක්ඛස්ස ච පහාණා පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්‍ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධං චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති”[235] යි වදාළ පරිදි සුඛය ද ප්‍ර‍හාණය කිරීමෙන් දුක්ඛය ද ප්‍ර‍හාණය කිරීමෙන්, පූර්‍වයෙහි ම සෞමනස්‍ය හා දොම්නස්‍ය අසතඞ්ගම කිරීමෙන්, දුක් නොවූ, සුඛ නොවූ, උපේක්‍ෂා ස්මෘතියෙන් පිරිසිදු වූ, චතුර්‍ථ ධ්‍යානය ලබා වාසය කරන්නේ ය. මෙසේ ඔහු විසින් එක් අඞ්ගයෙකින් විප්‍ර‍හීණ වූ, අඞ්ගද්‍වයයෙකින් සමන්විත වූ, ත්‍රිවිධ කල්‍යාණ හා දශ ලක්‍ෂණ සමපන්න පඨවිකසිණ චතුත්‍ථජ්ඣානය ලබාගන්නා ලද්දේ වේ.

 

“සුඛස්ස ච පහාණා” යනාදියෙහි විවරණය මෙසේ ය. සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා = කායිකා සුඛය ද, කායික දුඃඛය ද ප්‍ර‍හාණය කිරීමෙන්,

 

පුබේබව = ඒ ප්‍ර‍හාණය පූර්‍වයෙහි ය. චතුර්‍ථ ධ්‍යානලක්‍ෂණයෙහි නොවේ.

 

සොමනස්ස දොමනස්සානං අත්‍ථඞ්ගමා = චෛතසික සුඛ චෛතසිකදුඃඛ යන මේ දෙක ද පූර්‍වයෙහි ම අස්තංගම කිරීමෙන් අස්තංගම නම් ප්‍ර‍හාණය මැ යි. ඔවුන්ගේ ප්‍ර‍හාණය කවරදා වන්නේ ද චතුර්‍ථධ්‍යානයන්ගේ උපචාරක්‍ෂණයෙහි ය.

 

ඒ එසේ මැ යි :-

 

සොමනස්ස චතුර්‍ථ ධ්‍යානයාගේ උපචාරක්‍ෂණයෙහි ද, දුක්ඛ දොමනස්ස - සුඛයෝ ප්‍ර‍ථම - ද්‍විතීය - තෘතීය ධ්‍යානයන්ගේ උපචාරක්‍ෂණයෙහි ද, ප්‍ර‍හීණ වෙති. කිය යුත්තෙක් ඇති “සුඛස්සච පහාණා දුක්ඛස්ස ච පහාණා පුබ්බෙව සොමනස්ස දොමනස්සා නං අත්‍ථංගමා’යි. මෙහි සුඛ-දුක්ඛ-සොමනස්ස-දොමනස්ස වදාළේ ප්‍ර‍හාණ ක්‍ර‍මයෙන් නොවේ. ඉන්‍ද්‍රිය විභඞ්ගයෙහි ඉන්‍ද්‍රිය උදේදස කළ ක්‍ර‍මයෙනි. ප්‍ර‍හාණ ක්‍ර‍මයෙන් වදාළේ නම් ‘දුක්ඛං-දොමනස්සං-සුඛං-සොමනස්සං’ විය යුතුය.

 

ප්‍ර‍ශ්නයෙකි :- මේ සුඛ-දුක්ඛ-සොමනස්ස-දොමනස්සයෝ ඒ ඒ ධ්‍යානයන්ගේ උපචාර ක්‍ෂණයෙහි ප්‍ර‍හීණ වෙත් නම් “කත්‍ථචුප්පන්තං දුක්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ්ඣති? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙ ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්‍ථචුප්පන්තං දුක්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ්ඣති. කත්‍ථ චුප්පන්තං දොමනස්සින්‍ද්‍රියං -පෙ- සුඛින්‍ද්‍රියං -පෙ- සොමනස්සින්‍ද්‍රියං -පෙ- අපරිසෙසං නිරුජ්ඣති. ඉධ භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පහාණා -පෙ- චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති එක්‍ථචුප්පන්තං සොමනස්සින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ්ඣති[236] යි. කුමක් හෙයින් ධ්‍යානයෙහි දී ම නිරෝධය වදාරන ලද්දේ ද (පෙළෙහි අර්‍ථ සුගම ය.)

 

උත්තර මෙසේ ය :- අතිශය නිරෝධ හෙයිනි. ප්‍ර‍ථම ධ්‍යානාදියෙහි ඒ දුඃඛාදීන්ගේ නිරෝධය අතිශය නිරෝධය. නිරෝධ මාත්‍ර‍ නොවේ. උපචාර ක්‍ෂණයෙහි ඔවුන්ගේ නිරෝධය නිරෝධ මාත්‍ර‍ය අතිශය නිරෝධ නොවේ. එසේ මැයි :- යම් ආවර්‍ජනයකින් අර්‍පනාව වේ ද එයින් භින්න වූ ආවර්‍ජන ඇති ප්‍ර‍ථමධ්‍යානෝපචාරයෙහි දී නිරුද්‍ධ වූ දුඃඛෙන්‍ද්‍රිය මැසි-මදුරු ආදීන්ගේ ඩැහැමෙන් හෝ විෂම හිඳීමෙන් ලැබෙන පීඩායෙන් හෝ යළිදු උපදිය හැකිය. අර්‍පනායෙහි දී ඒ නැවත නූපදනේ ම ය. තවද උපචාරයෙහි දී නිරුද්ධ වූ ඒ දුඃඛෙන්‍ද්‍රිය ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මය විසින් නො නසන ලද බැවින් මනා වැ නිරුද්ධ වූයේ නොවේ. දුඃඛෙන්‍ද්‍රියයට ප්‍ර‍තිපක්‍ෂ නම් ප්‍රීතියයි. අර්‍පනායෙහිදී ප්‍රිතීය පැතිරීමෙන් සියලු කය සුඛයෙන් වදනා ලද්දේ ය. සුඛයෙන් වදනා ලද කය පිළිබඳ දුඃඛෙන්‍ද්‍රිය ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මය විසින් නසනා ලද බැවින් මනාව නිරුද්‍ධ වූයේ වෙයි.

 

එසේ මැ භින්න වූ ආවර්‍ජන ඇති ද්විතීය ධ්‍යානොපචාරයෙහි ප්‍ර‍හීණ වූ දොමනස්සින්‍ද්‍රියය විතර්‍ක විචාර ප්‍ර‍ත්‍යය කොටැ ඇති කායක්ලමථුවක් හෝ චිත්ත පීඩාවක් හෝ ඇති කල්හි නැවත උපදනේ ය. විතර්‍ක - විචාර නැති කල්හි නැවත නූපදනේ ය. යම් තැනෙක දෝමනස්සින්‍ද්‍රිය වේ නම් ඒ වන්නේ විතර්‍ක - විචාර ඇති බැවින් ය. ද්විතීය ධ්‍යානෝපචාරයෙහි විතර්‍ක - විචාර අප්‍ර‍හීණ ය. එබැවින් එහි දොමනස්සින්‍ද්‍රිය විය හැකි ය. ප්‍ර‍හීණ ප්‍ර‍ත්‍ය බැවින් ද්විතීය ධ්‍යානයෙහි දොමනස්සින්‍ද්‍රිය නො වන්නේ ය.

 

එසේ ම තෘතීය ධ්‍යානෝපචාරයෙහි දී ප්‍ර‍හීණ වූ සුඛින්‍ද්‍රිය ප්‍රීතියෙන් උපන් ප්‍ර‍ණීත රූපයෙන් පැතුරුණු සිරුරු ඇතියාහට නැවත උපදිය හැකිය. තෘතීය ධ්‍යානයෙහි දී නම් නූපදිය හැකි ය. එහිදී සුඛයට ප්‍ර‍ත්‍යය වූ ප්‍රීතිය සර්‍වාකාරයෙන් නිරුද්ධ බැවිනි.

 

එසේම චතුර්‍ථධ්‍යානෝපචාරයෙහි දී ප්‍ර‍හීණ වූ සෝමනස්සින්‍ද්‍රියය ආසන්න බැවින් අර්පණා ප්‍රාප්ත උපේක්‍ෂා නැති වැ මැනෙවින් නො ඉක්මුණු බැවින් නැවත උපදිය හැකි ය. චතුර්‍ථධ්‍යානයෙහිදී නම් නූඵදිය හැකි ය. එහි අර්පණා ප්‍රාප්ත උපේක්‍ෂා ඇති බැවිනි.

 

“ඵත්‍ථුප්පන්නං දුක්ඛීන්‍ද්‍රියං අපරිසෙසං නිරුජ්ඣති”යි අපරිසෙස ශබ්දය, යොදන ලද්දේ මේ නිසා යයි දත යුතු.

 

තවද ප්‍ර‍ශ්නයෙකි :- ප්‍ර‍ථමාදි ඒ ධ්‍යානයන්ගේ උපචාරයෙහි ප්‍ර‍හීණ වූ මේ වේදනා යළිදු කුමක් හෙයින් දක්වන ලද ද.

 

උත්තරය මෙසේය :- සුවසේ ගැන්ම පිණිස ය. “අදුක්ඛමසුඛං” යි මෙහි දැක්වුනු අදුක්ඛාසුඛ වේදනාව හෙවත් උපේක්‍ෂාවේදනාව සියුම් ය. සුවසේ දැනගන්නට අපහසු ය. ළං වැ ගන්නට බැරිතරම් චණ්ඩ වූ ගොනු අල්ලාගැනීම පිණිස ගොපල්ලා ගාලෙහි සියලු ගෙරින් එක්කොටැ එක එකා බැහැර කරමින් පිළිවෙළින් ආ චණ්ඩයා “මේ ඌය උහු ගනිවු” ය යි උහු ද ගන්නේ ද, මෙන් බුදුහු සුව සේ ගැන්ම පිණිස මුල පටන් සියලු වේදනා දැක්වූ සේක. එසේ දැක්වීමෙන් සුවත් නො වූ දුකුත් නො වූ, සොම්නසුත් නො වූ, දොම්නසුත් නො වූ යම් වේදනාවෙක් වේ ද එය අදුක්ඛාසුඛ වේදනාය යි ගන්වන්නට හැකි ය.

 

තව ද අදුක්ඛාසුඛ හෙවත් උපේක්‍ෂා චේතෝ විමුක්තියට ප්‍ර‍ත්‍යය දක්වනු සඳහා ද මේ වදාළේ යයි දත යුතු. අදුක්ඛාසුඛයට හෙවත් උපේක්‍ෂාවට ප්‍ර‍ත්‍යය නම් - සුඛ දුඃඛ ප්‍ර‍හාණාදිය යි. වදාළේ මැ යි.

 

“චත්තාරො ඛො ආවුසො පච්චයා අදුක්ඛමසුඛාය චෙතො විමුත්තියා සමාපත්තියා, ඉධ ආවුසො භික්ඛු සුඛස්සච පහාණා - පෙ - චතුත්‍ථංඣානං උපසම්පජ්ජවිහරති. ඉමෙ ඛො ආවුසො චත්තාරො පච්චයා අදුක්ඛමසුඛාය චේතොවිමුත්තියා”[237] යි අර්‍ථ සුගම යි.

 

තවද සෝවාන් මාර්‍ගයෙහි දී ප්‍ර‍හීණ වූ සක්කායදිට්ඨි ආදිය අනාගාමි මාර්‍ගයට ප්‍ර‍ශංසා පිණිස එහි දී ද වදාළා සේ මෙයට ප්‍ර‍ශංසා පිණිස සෙසු වේදනා ද මෙහි දී වදාළ සේකැයි දත යුතු.

 

තවද ප්‍ර‍ත්‍යය නාශයෙන් හෝ රාගද්වේෂාදීන් කෙරෙන් ඉතා දුරු බව දක්වන්නට මෙය වදාළේය යි දත යුතු.

 

එසේ මැ යි :-

 

මොවුන් අතුරෙන් සුඛය සොමනස්සයට ද, සොමනස්සය රාගයට ද, දුක්ඛය දොමනස්සයට ද දොමනස්සය ද්වේෂයට ද, ප්‍ර‍ත්‍යය ය. සුඛ-දුක්ඛ නාශයෙයන් ප්‍ර‍ත්‍යය සහිත රාග ද්‍වෙෂයෝ නැසුණෝ වෙති. එයින් ඔවුහු ඉතා දුරුවූවෝ වෙත්.

 

අදුක්ඛමසුඛං = දුක්ඛ නැති බැවින් අදුක්ඛ වූ, සුඛ නැති බැවින් අසුඛ වූ, මෙයින් දැක්වුණේ දුඃඛ-සුඛ දෙකට ප්‍ර‍තිපක්‍ෂ වූ තෘතීය වේදනා නම් අදුක්ඛාසුඛ වේදනා ය. උපේක්‍ෂා යයි සේ යි. උපේක්‍ෂායෙහි ලක්‍ෂණය ඉෂ්ටානිෂ්ට දෙකට විපරීත වූ මධ්‍යස්ථාලම්බනානුභවනය යි. රසය හෙවත් කෘත්‍යය මධ්‍යස්ථ භාවය යි. පච්චුපට්ඨානය ගල් පිට මුවන් ගිය මං සේ සුව දුක් දෙකින් අනුමාන කටයුතු බැවින් අවිභූත භාවය යි හෙවත් නො පහළ බව යි. පදට්ඨානය සුඛ නිරෝධය යි. (චතුර්‍ථ ධ්‍යානෝපචාරය සුඛ නිරෝධ නමි. ඒ ආසන්න කාරණ කොටැ ඇත්තේය. යන අර්‍ථ යි.)

 

උපෙක්ඛාසතිපාරිසුද්ධිං = උපේක්‍ෂායෙන් ජනිත ස්මෘති පාරිසුද්ධි ඇති. මේ ධ්‍යානයෙහි ස්මෘතිය පිරිසිදු ය. ඒ පිරිසිදු බව උපේක්‍ෂායෙන් කැරුණේ ය. අන්‍යයෙකින් කැරුණේ නො වෙයි. එහෙයින් එය උපේක්ඛාසතිපාරිසුද්ධිය යි කියනු ලැබේ. “අයං සති ඉමාය උපෙක්ඛාය විවටා හොති පාරිසුද්ධා පරියොදාතා තෙන වුච්චති උපේක්ඛා සති පාරිසුද්ධිං”[238] යි විභඞ්ගයෙහිදු වදාළේ ය. මේ ස්මෘතිය මේ උපේක්‍ෂායෙන් විවෘත ය, පරිශුද්ධ ය, නිර්‍මල ය. එහෙයින් උපෙක්ඛා - සතිපාරිසුද්ධිය යි කියනු ලැබේ යනු එහි අර්‍ථ යි. ස්මෘති පිරිසිදු කරන මේ උපේක්‍ෂාව අර්‍ථ වශයෙන් ගතහොත් තත්‍ර‍මජ්ඣත්තතාවය යි දත යුතු. ඒ තත්‍ර‍මජ්ඣත්තතායෙන් පිරිසිදු වන්නේ ස්මෘතිය මතු නොවේ. සියලු සම්ප්‍ර‍යුක්ත ධර්‍මයෝ ම පිරිසිදු වෙති. එහෙත් දේශනාව ස්මෘති ශීර්ෂයෙන් වදාළේ ය.

 

වැළි කිය යුත්තෙක් ඇති, මේ උපේක්‍ෂාව යට ධ්‍යානත්‍ර‍යයෙහි ද පවත්නේ ය. දහවල් සූර්‍ය්‍ය රශ්මියෙන් අභිභූත බැවින් ද, සෞම්‍යත්‍වයෙන් හා තමහට උපකාරත්‍වයෙන් සභාග වූ රාත්‍රිය නො ලැබීමෙන් ද, දහවල් විද්‍යමාන වූ ද චන්‍ද්‍ර‍ රේඛාව අපාරිසුද්ධ අපරියොදාත වන්නා සේ මේ තත්‍ර‍මජ්ඣත්තුපේක්ඛාව ද, විතර්‍කාදි විරුද්ධ ධර්‍ම තේජසින් මැඩුණු බැවින් ද, සභාග වූ උපේක්ෂාව නො ලැබුණු බැවින් ද, ප්‍ර‍ථම ධ්‍යානාදීයෙහි විද්‍යමාන වුවද, අපරිසුද්‍ධ අපරියෝදාත වන්නේ ය. (නො තියුණු බැවින් චන්‍ද්‍ර‍ රේඛාව මෙන් රාත්‍රි ද සෞම්‍ය ය, රාත්‍රියෙහි ම චන්‍ද්‍ර‍ රෙඛාව දිලියෙන බැවින් රාත්‍රිය චන්‍ද්‍ර‍ රේඛාවට උපකාරය.) ඒ අපිරිසිදු කල්හි අපිරිසිදු වූ චන්‍ද්‍ර‍ රේඛායෙහි ප්‍ර‍භාව මෙන් සහජාත වූ ද ස්මෘති ආදීහු අපිරිසිදු වෙති. එහෙයින් මේ ප්‍ර‍ථම ධ්‍යානාදියෙහි එකෙකුදු “උපෙක්ඛා සති පාරිසුද්ධි” යයි නො වදාරන ලදි. මේ චතුර්‍ථ ධ්‍යානයෙහි වනාහි විතර්‍කාදි විරුද්‍ධ ධර්‍ම සංඛ්‍යාත තෙජසින් නො මැඩුනු බැවින් ද, උපේක්‍ෂා වේදනා සංඛ්‍යාත රාත්‍රිය ලැබුණු බැවින් ද, මේ තත්‍ර‍මජ්ඣත්තුපෙක්ඛා සංඛ්‍යාත චන්‍ද්‍ර‍ රෙඛාව ඉතාම අපිරිසිදු ය. එබැවින් පිරිසිදු චන්‍ද්‍ර‍ රෙඛායෙහි ප්‍ර‍භාව මෙන් සහජාත වූ ස්මෘති ආදීහු ද පිරිසිදු ය. නිර්‍මල ය. එ බැවින් මෙම උපෙක්ඛාසතිපාරිසුද්ධිය යි වදාරන ලද්දේ යයි දත යුතු.

 

චතුත්‍ථං - ගණන් පිළිවෙළින් හෝ සතර වැනි වැ සම වදින බැවින් හෝ සතර වැනි වූ.

 

“එකඞ්ග විප්පහීණං දුවඞ්ගසමන්තාගතං” යන මෙහි සෞමනස්‍ය ප්‍ර‍හාණ වශයෙන් එකාඞ්ග විප්‍ර‍හීණත්‍වය දත යුතු. ඒ සෞමනස්‍ය ප්‍ර‍හාණ ද එක වීථියෙහි පූර්‍ව ජවන්හි ම වන්නේ ය. එහෙයින් එය ඒ ධ්‍යානය පිළිබඳ ප්‍ර‍හාණාඞ්ගය යි කිය යුතු. උපේක්‍ෂා - ඒකාග්‍ර‍තා යන මොවුන්ගේ උතපත්ති වශයෙන් දුවඞ්ගසමන්නාගතතාව දත යුතු. සෙස්ස ප්‍ර‍ථමධ්‍යානයෙහි කී නියා මැයි.

 

චතුෂ්කධ්‍යාන නය යි.

 

 

පඤ්චකධ්‍යාන ලබා ගත යුතු ක්‍ර‍මය.

 

පඤ්චකධ්‍යාන නිපදවන යෝගී විසින් ප්‍ර‍ගුණ වූ ප්‍ර‍ථම ධ්‍යානයෙන් නැඟී “මේ සමාපත්ති ආසන්න වූ නීවරණ නමැති සතුරන් ඇත්තේ ය. විතර්‍කය ඖදාරික බැවින් අඞ්ග වශයෙන් ද දුබලය”යි එහි දොස් සලකා ද්විතීය ධ්‍යානය ශාන්ත වශයෙන් ද ගෙනැ ප්‍ර‍ථමධ්‍යානයෙහි නිකන්තිය හැරැ පියා ද්විතීයධ්‍යානය ලැබැගන්නා පිණිස භාවනාරම්භ කළ යුතු. එසේ භාවනා කරන්නා වූ ඔහුට යම් කලෙක ප්‍ර‍ථම ධ්‍යානයෙන් නැඟී සිහිනුවණ ඇති වැ ධ්‍යානාඞ්ග ප්‍ර‍ථ්‍යවෙක්ෂා කරත් ම විතර්‍ක මාත්‍රය ඖදාරික වශයෙන් හා විචාරාදිය ශාන්ත වශයෙන් හා වැටහේ ද එ කල්හි ඔහු විසින් ඖදාකාරිකාඞ්ග දුරු කිරීම සඳහා ද ශාන්තාඞග ලබා ගැන්ම සඳහා ද ඒ නිමිත්තය ම “පඨවි - පඨවි” යි මෙනෙහි කළ යුතු. එවිට යට කී නියායෙන් ද්විතීයධ්‍යානය උපදින්නේ ය. එහි ප්‍ර‍හාණාඞ්ගය විතර්‍කය පමණෙකි. විචාරාදීහු සමන්‍ථාගතාඞ්ගයෝ ය. සෙස්ස යට කී සේ මැ යි.

 

එසේ ලැබැගත් ද්විතීයධ්‍යානයෙහි ද යට කී නයින් පස් ආකාරයෙකින් චීර්‍ණවශී වැ එයින් නැඟී “මෙ ද ආසන්න වූ විතර්‍ක සංඛ්‍යාත සතුරෙක් ඇත්තේ ය. විචාරය ද ඖදාරික බැවින් අඞ්ග දුර්‍වලය”යි එහිදු දොස් දැකැ තෘතීයධ්‍යානය ශාන්ත වශයෙන් ගෙනැ ද්විතීයධ්‍යානයෙහි නිකන්තිය හැර පියා තෘතීයධ්‍යානය ලැබැ ගන්නා පිණිස භාවනාරම්භ කළ යුතු.

 

එසේ භාවනා කරන්නහු ද්විතීයධ්‍යානයෙන් නැඟී සිහිනුවණ ඇති වැ ධ්‍යානාඞ්ග ප්‍ර‍ත්‍යවේකෂා කරත් ම ඔහුට විචාර මාත්‍ර‍ය ඖදාරික වශයෙන් ද ප්‍රීති ආදිය ශාන්ත වශයෙන් ද වැටහෙන්නේ ය. එවිට ඔහු විසින් ඖදාරිකාඞ්ග ප්‍ර‍හාණය සඳහා ද ශාන්තාඞ්ග ප්‍ර‍තිලාභය සඳහා ද ඒ නිමිත්තය ම “පඨවි පඨවි” යි නැවත නැවත මෙනෙහි කළ යුතුය. එවිට ඔහුට යට කී සේ තෘතීයධ්‍යානය උපදින්නේ ය. එහි ප්‍රාහාණාඞ්ගය විචාරය පමණෙකි. චතුෂ්කනයයෙහි ද්විතීයධ්‍යානයට මෙන් ප්‍රීති ආදි තුන සමන්‍ථාගතාඞ්ගයෝ ය. සෙස්ස යට කී සේ මය. චතුෂ්කනයයෙහි ද්විතීයධ්‍යානය දෙකඩ වැ පඤ්චකනයයෙහි ද්විතීය-තෘතීය ධ්‍යාන වෙයි. චතුෂ්කනයෙහි තෘතීය - චතුර්‍ථ ධ්‍යාන පඤ්චකනයයෙහි චතුර්‍ථ-පඤ්චම ධ්‍යාන වෙයි. චතුෂ්කනයයෙහි ප්‍ර‍ථමධ්‍යානය පඤ්චකනයයෙහි දු ප්‍ර‍ථමධ්‍යානය මැ යි.

 

සජ්ජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධිමාර්‍ගයෙහි

සමාධිභාවනාධිකාරයට ඇතුළත්

පඨවිකසිණ නිර්දේශ නම් සතරවන පරිච්ඡේදය යි.


5 වන පරිච්ඡේදය

සෙසු කසිණ නිර්දේශය

 

නමො භගවතො සම්බුද්ධස්ස

 

දැන් පඨවි කසිණයට අනතුරු වැ ආපෝ කසිණයෙහි විස්තර කථාව වන්නේ ය.

 

පඨවි කසිණය සේ ම ආපෝ කසිණය ද වඩනු කැමති යෝගී විසින් සුවසේ හිඳැ ගෙනැ සකස් කැරැ ග්ත හෝ ප්‍ර‍කෘතියෙන් පිහිටි හෝ ජලයෙහි නිමිත්තග්‍ර‍හණය කළ යුතු. මේ ආදි වශයෙන් මෙහි ද මත්තෙහි ද සියල්ල මෙසේ විස්තර කරනු. මෙසේ මතු මෙ පමණකු දු නො දක්වා විශේෂයක් ඇතහොත් එම දක්වන බව දත යුතු.

 

පූර්‍වයෙහි ආපෝකසිණ භාවනා කළ පින්වතුනට චුල්ලසීව තෙරුන්ට මෙන් ප්‍ර‍කෘතියෙන් පිහිටි ජලයෙහි - එනම් පොකුණෙක හෝ විලෙක හෝ කලපුවෙක හෝ මුහුදෙහි හෝ නිමිත්ත උපදින්නේ ය. ලාභසත්කාර නො තකා විවික්ත වැ වසමි යි මාවටුයෙහි (මහාතීර්‍ථයෙහි) නැව් නැඟී දඹදිව වඩනා උන්වහන්සේට අතර මගදී මහමුහුද බලත් ම ඒ හා සමාන කසිණ නිමිත්ත පහළ විය. පෙර අභියෝග නො කළ පින්වතුන් විසින් සතර කිසුණු දොස් හැරැ පියා නීල-පීත-ලෝහිත-ඔදාත යන සිව් පැහැ ඇති ජලය අතුරෙන් කිසියම් ජලයක් නො ගෙනැ බිම නො වැටුණු තාක් ශුද්ධ වස්ත්‍රයෙන් පෙරාගත් අහස් දියෙන් හෝ එබඳු වූ ම අන්‍ය පිරිසිදු ජලයකින් හෝ පාත්‍ර‍යක් වත් සැළියක් වත් මුවවිට දක්වා පුරා ගෙනැ විහාර කෙළවර යට කී සේ පිළිසන් තැනෙක තබා ගෙනැ සුවසේ හිඳැ අම්බු, උදක, වාරි, සලිල ආදි ජලවාචක නම් අතුරෙන් ප්‍ර‍සිද්ධ නම වශයෙන් ගෙනැ “ආපො-ආපො” යි භාවනා කළ යුතු. එහි වර්‍ණය නො සැලකිය යුතු. ද්‍ර‍ව ලක්ෂණය මෙනෙහි නො කට යුතු. වර්‍ණය තමහට ආශ්‍ර‍ය වූ ජලය හා සමානගතික කොටැ උත්සන්න වශයෙන් ප්‍ර‍ඥප්ති ධර්‍මයෙහි සිත මෙහෙයා භාවනා කළ යුතු. (උත්සන්න වශයෙන් ප්‍ර‍ඥප්ති ධර්‍මයෙහි සිත මෙහෙයීම නම් ආපෝධාතුයේ උත්සන්නභාවයෙන් - ශක්ති හෙයින් - අධික බැවින් සසම්භාර ආපයෙහි ආපය යන මේ ලෝක ව්‍යවහාරයෙක් ඇත් ද ඒ උපාදාන ප්‍ර‍ඥප්තියෙහි සිත පිහිටුවීම යි. මෙසේ භාවනා කරත් ම ඔහුට පිළිවෙළින් පෙර කීසේ උද්ග්‍ර‍හ - ප්‍ර‍තිභාග නිමිති උපදින්නේ ය. එහි උද්ග්‍ර‍හනිමිත්ත සැලෙන්නා සේ වැටහෙයි. ඉදින් ඒ ජලය පෙණ බුබුලින් මිශ්‍ර‍ නම් එසේ පෙණ බුබුලින් මිශ්‍ර‍ වැ මැ වැටහෙයි. රැළ නැඟීම් පෙණ මුසු බැව් කසිණ දෝස පෙනේ. ප්‍ර‍තිභාගනිමිත්ත වනාහි නො සැලෙන අහස තුබූ මිණි තල්වැටක් සේ ද මිණිමුවා කැටපත් තලයක් සේ ද වැටහෙයි. එසේ වැටහෙන්නා හා ම ඒ යොගාවචර උපචාර ධ්‍යානයට ද පෙර කී සේ චතුෂ්ක - පඤ්චකධ්‍යානයන්ට ද පැමිණෙන්නේ ය.

 

ආපොකසිණ වඩන ක්‍ර‍මය යි.

 

 

තේජෝ කසිණය

 

තේජෝ කසිණය වඩනු කැමැත්තහු විසින් තේජසෙහි නිමිත්ත ගත යුතු. පූර්‍ව කෘත අභියෝග ඇති පින්වතුනට චිත්තගුත්ත තෙරුන්ට මෙන් ප්‍ර‍කෘති තේජසෙහි නිමිති ගනුත් පහන් සිල්ලෙහි හෝ උදුනෙහි හෝ පාත්‍ර‍ පිසින තැන හෝ ලැව් ගින්නෙහි හෝ යම් කිසි තැනෙක ගිනිසිලු බලත් නිමිත්ත උපදින්නේ ය. චිත්තගුත්ත තෙරුන්ට වනාහි ධර්‍ම ශ්‍රවණ දවසෙහි පොහෝ ගෙට පිවිසැ පහන් සියල්ල බලත් ම ඒ නිමිත්ත උපන්නේ ය. පූර්‍වයෙහි කෘතාභියෝග නැත්තහු විසින් තේජෝ කසිණය පිළියෙළ කරගත යුතු ය. එය පිළියෙළ කර ගන්නා ක්‍ර‍මය මෙසේ ය. සිනිඳු වූ හර ඇති දර පලා වියලා ගෙනැ එය කැබැලි කොටැ සුදුසු රුක් මුලකට හෝ මණ්ඩපයකට හෝ ගොස් පාත්‍ර‍ පිසින ආකාරයෙන් රැස්කොටැ ගිනි දැල්විය යුතු ය. ඉක්බිති හුණ පැදුරෙක හෝ සමෙක හෝ වස්ත්‍රයෙක හෝ එක් වියත් සතරඟුල් පමණ කොටැ සිදුරක් කරගත යුතු ය. එය අර දැල්වෙන ගින්න අභිමුඛයේ තබා ගෙනැ යට දැක් වූ සේ හිඳැ ගෙනැ යට තණ - දර හෝ මතු දුම් සිල්ල හෝ මෙනෙහි නො කොටැ මැද විරල නො වැ ඝන වැ පවත්නා ගිලිදැල්ලෙහි නිමිත්ත ගත යුතු යි. නීල-පිතාදි වශයෙන් එහි පැහැය නො සිතිය යුතු ය. උෂ්ණත්‍ව වශයෙන් ලක්ෂණ මෙනෙහි නො කළ යුතු. වර්‍ණය ද නිශ්‍ර‍ය ගතික කොටැ උත්සන්න වශයෙන් ප්‍ර‍ඥප්ති ධර්‍මයෙහි සිත මෙහෙයා “පාචක, කණ්භවත්තනි, ජාත වෙද, හුතාසනාදි අග්නි වාචක නම් අතරෙන් ප්‍ර‍කට නම වශයෙන් ම “තෙජො - තෙජො” යි භාවනා කටයුතුයි. මෙසේ භාවනා කරත්ම ඔහුට පිළිවෙළින් උද්ග්‍ර‍හ-ප්‍ර‍තිභාග නිමිති උපදිනේ ය. එයින් උද්ග්‍ර‍හ නිමිත්ත ගිනි දැල් කැඩි කැඩී වැටෙන්නා සේ වැටහෙයි. ප්‍ර‍කෘති තේජසෙහි නිමිති ගනුන් කසිණ දොස පෙනේ. පෙනහෙලි කැබලි හෝ අඟරු පිද්‍ධු හෝ හළු      හෝ දුම් හෝ වැටහෙයි. ප්‍ර‍තිභාග නිමිත්ත වනාහි අහස්හි තුබූ රත් කම්බිලි කඩක් සේ ද, රන් තල් වැටක් සේ ද රන් ටැඹක් සේ ද නිශ්චල වැ වැටහෙයි. එසේ වැටහෙන්නා හා ම ඒ යෝගාවචර උපචාර ධ්‍යානයට ද, යට කී සේ චතුෂ්ක-පඤ්චක ධ්‍යානයන්ට ද පැමිණෙන්නේ ය.

 

තේජෝ කසිණ වඩන ක්‍ර‍මය යි.

 

 

වායෝ කසිණය.

 

වායෝ කසිණය වඩනු කැමැති යෝගී විසින් වායුයෙහි නිමිත්ත ගත යුතු. ඒ ගැන්ම ද සැලෙන තැන් බැලීමෙන් හෝ ඇඟ ස්පර්‍ශයෙන් හෝ විය යුතු. අර්‍ථ කථායෙහි ඒ මෙසේ දක්වති. “වායො කසිණං උග්ගණ්හන්තො වායුස්මිං නිමිත්තං ගණ්හාති උච්ඡග්ගං වා එරිතං සමෙරිතං උපලක්ඛෙති වෙළග්ගං වා -පෙ- රුක්ඛග්ගං වා කෙසග්ගං වා එරිතං සමෙරිතං උපලක්ඛෙති කායස්මිං වා ඵුට්ඨා උපලක්ඛෙති” යි ‘වායු කසිණය උගන්නේ වායුවෙහි නිමිත්ත ගනී. සැලෙන උග්ගස් අගක් හෝ හුණගස් අගක් හෝ රුක් අගක් හෝ කෙසගක් හෝ නිමිත්ත කොටැ බලයි. ශරීරයෙහි වැදගත් වාතය හෝ නිමිත්ත කොට බලයි’ යනු එහි අර්‍ථ යි. අටුවාහි එසේ කී බැවින් මුදුනෙහි පත්‍ර‍ විසින් සම වූ හිස් ඇති වැ සිටි ඝන පත්‍ර‍ ඇති උගක් හෝ උණක් හෝ රුකක් හෝ සතරඟුල් ප්‍ර‍මාණ ඝන කෙස් ඇති පුරුෂයක්හු ගේ හිසක් හෝ වාතයෙන් සැලෙන්නා දැකැ මේ වාතය මෙතැන වදනේන යයි සිහි එළවා. එසේ ම කවුළු දොරින් හෝ භිත්ති සිදුරින් හෝ තම ඇඟ හැපෙන වාතයෙක් වේ නම් එහි හෝ සිහි එළවා. වාත, මාළුත, අනිලාදි සුළං වාචක නම් වලින් ප්‍ර‍කට වූ නම වශයෙන් ‘වාතො-වාතො’ යි භාවනා කටයුතු. මෙහි උද්ග්‍ර‍හ නිමිත්ත උදුනින් බා ගත් ඇසිල්ලේ කිරිබතක උණුසුම් වැටියක් බඳු වැ චල වැ වැටහේ. පටිභාග නිමිත්ත එ ම සන්සුන් වැ නිශ්චල වැ වැටහේ. සෙස්ස යට කී සේ දත යුතු යි.

 

වායෝ කසිණ වඩන ක්‍ර‍මය යි.

 

නීල කසිණය

 

“නීල කසිණං උග්ගණ්හන්තො නීලකස්මිං නිමිත්තං ගණ්හාති පුප්ඵස්මි වා වත්‍ථස්මිං වා වණ්ණධාතුයා වා” ‘නීලකසිණය උගන්නේ නීල වර්‍ණයෙහි නිමිත්ත ගනී. මලෙක හෝ වස්ත්‍රයෙක හෝ වර්‍ණ ධාතුවෙහි හෝ, යි කී හෙයින් කෘතාධිකාර පින්වතුනට අවිරල වැ පිපුණු නීල් මලින් ගැවසී ගත් මල් ගසක් හෝ පූජා ස්ථානයෙහි මල් අතිරියක් හෝ නිල්පිළි නිල්මිණි අතුරෙන් කිසිවක් හෝ දැක්මෙන් ම නිමිත්ත උපදී. අකෘතාධිකාර විසින් නිලුපුල් නිල්කටරොළු ආදි මල් ගෙනැ රේණු හෝ නැටි හෝ නො පෙනෙන පරිද්දෙන් චඞ්ගොටකයක්, තුඩා පෙට්ටියක් හෝ කරඬුපටලයක් හෝ ඒ මල් පෙතියෙන් මුවවිට තාක් පුරා ඇතිරිය යුතු. නිල්වන් පිළියෙන් පොදියක් බැඳැ එයින් හෝ පිරවිය යුතු. එහි මුවවිට බෙර ඇසක් මෙන් හෝ බැන්ද යුතු. ලොහොමලනිල් කොළනිල් අඳුන්නිල් අතුරෙන් යම් කිසිවකින් පඨවි කසිණයෙහි කී සේ ගෙනැ යා හැකි කොටැ හෝ භිත්තියෙක හෝ කසිණ මණ්ඩලයක් කොටැ වෙනස් වර්‍ණයකින් අවට පරිච්ඡේද කටයුතු. ඉක්බිති පඨවි කසිණයෙහි කී පරිදි “නීලං-නීලං” යි මනස්කාර කළ යුතු. මෙහි දු උද්ග්‍ර‍හ නිමිත්තයෙහි කසිණ දෝස පෙනෙන්නේ ය. රේණු නැටි පෙති අතර ආදිය වැටහෙන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්ත කසිණ මණ්ඩලයෙන් මිදී අහස මිණි තල් වැටක් සේ වැටහෙන්නේ ය. සෙස්ස යට දැක්වුණු සේ දත යුතු.

 

නීල කසිණ වඩන ක්‍ර‍මය යි.

 

පීත කසිණය.

 

පීත කසිණයෙහි දු විධි කී නියා ය. කීයේ මැ යි “පීත කසිණ උග්ගණ්හන්තො පීතකස්මිං නිමිත්තං ගණ්හාති පුප්ඵස්මිං වා වත්‍ථස්මිං වා වණ්ණධාතුයා වා” යි මෙහි දු කෘතාධිකාර පින්වතුන්ට අවිරල වැ පුපුණු කහ පෑ මලින් ගැවසී ගත් මල් ගසක් හෝ මල් ඇතිරියක් හෝ කහ පිළී කසා පැහැ ධාතු අතරින් කිසිවක් හෝ දැක්මෙන් චිත්තගුත්ත තෙරුන්ට මෙන් නිමිත්ත උපදී. උන්වහන්සේට වනාහි සිතුල්පව්වෙහි පතහි මලින් කළ ආසන පූජාව බලන්නා හා ම ඒ ආසන ප්‍ර‍මාණ නිමිත්ත උපන්නේ ය. අකෘතාධිකාර විසින් කිණිහිරි මල් ආදිනේ හෝ කසාවන් පිළියෙන් හෝ කසාවර්‍ණ ධාතුවකින් හෝ නීල කසිණයෙහි කී සේ කසිණ මණ්ඩලය කොටැ “පීතකං-පීතකං” යි මනස්කාර පැවැත්විය යුතු. සෙස්ස එබඳු මැයි.

 

පීත කසිණය වඩනා ක්‍ර‍මය යි.

 

 

ලෝහිත කසිණය

 

ලෝහිත කසිණයෙහිදු විධි යට කී නියා යැ. කී යේ මැ යි “ලෝහිත කසිණං උග්ගණ්හන්තො ලොහිතකස්මිං නිමිත්තං ගණ්හාති පුප්ඵස්මිං වා වත්‍ථස්මිං වා වණ්ණධාතුයා වා” යි.

 

මෙහිදු කෘතාධිකාර පින්වතුන්ට බඳුවල ආදි අවරල රත් මලින් ගැවසී ගත් මල් ගසක් හෝ, මල් ඇතිරියක් හෝ රතුපිළී රතුමැණික් රතුධාතු අතුරෙන් කිසිවක් හෝ දැක්මෙන් ම නිමිත්ත උපදනේ ය. අකෘතාධිකාර විසින් ජයසුමන වද රත් කරඬු ආදි මලින් හෝ රත් පිළියෙන් හෝ සුවගුරු, දැහිඟුල් ආදි රක්ත වර්‍ණ ධාතුවෙන් හෝ නීල කසිණයෙහි කී සේ ම කසිණ මණ්ඩලය කොට “ලෝහිතකං-ලෝහිතකං” යි මෙනෙහි කළ යුතු. සෙස්ස යට කී නියා මැ යි.

 

ලෝහිත කසිණය වඩනා ක්‍ර‍මය යි.

 

 

ඕදාත කසිණය

 

ඕදාත කසිණයෙහිදු “ඔදාත කසිණං උග්ගණ්හන්තො ඔදාතස්මිං නිමිත්තං ගණ්හාති පුප්ඵස්මිං වා වත්‍ථස්මිං වා වණ්ණධාතුයා වා” යි කී හෙයින් කෘතාධිකාර පින්වතුනට අවිරල සුදු මලින් ගැවසීගත් මල් ගසක් හෝ ඉද්ද දෑසමන් ආදි මල් ඇතිරියක් හෝ හෙළැඹුලු හෙළපියුම් රැසක් හෝ සුදුපිළී මකුළු ආදි ධාතුන්ගෙන් කිසිවක් හෝ දැක්මෙන් ම නිමිත්ත උපදනේ ය. ඊයම්මඬුලු රිදීමඬුලු සඳමඬුලුයෙහිදු එසේම නිමිති උපදිය හැකි ය. අකෘතාධිකාර විසින් යට දැක්වුණු පරිදි සුදුමලින් හෝ සුදුපිළියෙන් හෝ සුදුධාතුවකින් හෝ නීල කසිණයෙහි කී සේ කසිණ මණ්ඩලය කොටැ “ඔදාත-ඔදාත” යි මෙනෙහි කට යුතු. සෙස්ස යට කී නියා මැ යි.

 

ඔදාත කසිණය වඩන ක්‍ර‍මය යි.

 

ආලෝක කසිණයෙහි වනාහි “ආලොකං උග්ගණ්හන්තො ආලොකස්මිං නිමිත්තං ගණ්හාති භිත්තිච්ඡිද්දෙ වා තාලච්ඡිද්දෙ වා වාතපානන්තරිකාය වා” ‘ආලෝක කසිණය උගන්නේ ආලෝකයෙහි එනම් භිත්ති සිදුරෙහි හෝ කෙසි සිදුරෙහි හෝ කවුළු අතරින් හෝ නිමිත්ත ගන්නේ ය’ කී හෙයින් කෘතාධිකාර පින්වතුනට භිත්ති සිදුරු ආදීන් අතරෙන් කිසිවකින් හිරු එළිය හෝ සඳපහන හෝ වැදී භිත්තියෙහි හෝ භූමියෙහි හෝ නැඟෙන මණ්ඩලය දැක්මෙන් නිමිත්ත උපදනේ ය. අකෘතාධිකාර විසිනු ද එබඳු වූ ම ආලෝක මණ්ඩලය “ඔහාසො ඔහාසො” යි හෝ “ආලොකො - ආලොකො” යි හෝ භාවනා කට යුතු. එසේ නිමිත්ත උපදවා ගන්නට නො හැකි අය විසින් කළයෙක පහනක් දල්වා එහි කට වසා එහි පසෙක සිදුරක් කොටැ භිත්තියට අභිමුඛ කොටැ තැබිය යුතු. ඒ සිදුරින් පහන් එළිය නික්මැ භිත්තියෙහි මණ්ඩලයක් කෙරෙයි. ඒ බලා “ආලෝකො-ආලෝකො”යි භාවනා කළ යුතු. මේ වනාහි මුල දැක්වුණු නිමිත්තයනට වඩා චිරස්ථායී ය. මෙහි උද්ග්‍ර‍හනිමිත්ත භිත්තියෙහි හෝ භූමියෙහි හෝ නැඟුනු මණ්ඩලය බඳු ය. ප්‍ර‍තිභාග නිමිත්ත ඝන ප්‍ර‍සන්න ආලෝක පුඤ්ජයක් බඳු යි. සෙස්ස යට කී නියා මැ යි.

ආලෝක කසිණ වඩන ක්‍ර‍මය යි.

 

 

ආකාස කසිණය

 

පරිච්ඡින්නාකාස කසිණයෙහිදු “ආකාසකසිණං උග්ගණ්හන්තො ආකාසස්මිං නිමිත්තං ගණ්හාති භිත්තිච්ඡිද්දෙ වා තාලච්ඡිද්දෙ වා වාතපානන්තරිකාය වා”යි කී හෙයින් කෘතාධිකාර පින්වතුනට භිත්ති සිදුරු ආදිය අතුරෙන් කිසිවක් දැක්මෙන් ම නිමිත්ත උපදනේ ය. අකෘතාධිකාර විසින් ඝන කොටැ සෙවූ මඩුවෙක හෝ සම් - හුණුපැදුරු ආදින් අතුරෙන් කිසිවෙක හෝ එක් වියත් සතරඟුල් සා සිදුරක් කොටැ ඒ භිත්ති සිදුරු ආදි සිදුර “ආකාසො-ආකාසො”යි වැඩිය යුතු. මෙහි උද්ග්‍ර‍හනිමිත්ත භිත්ති පරියන්ත කඩතැන් පැළුණු තැන් සමග සිදුර සමාන ම ය. වඩනු ලබන්නේ ද නො වැඩෙන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්ත ආකාශමණ්ඩලය ම වැ වැටහෙන්නේ ය. වඩනු ලබන කල්හි වැඩෙන්නේ ය. සෙස්ස පඨවි කසිණයෙහි කී නියාමැයි.

 

ආකාස කසිණය වඩන ක්‍ර‍මය යි.

 

දශබලධර සර්වධර්මදර්ශීන් වහන්සේ වදාළ රූපාවචර චතුෂ්ක පඤ්චකධ්‍යාන ලාභයට හේතු වූ දස කසිණ ද ඒ කසිණ වඩන ක්‍ර‍මය ද මෙසේ දක්වා ඉක්බිති ඔවුන් පිළිබඳ ප්‍ර‍කීර්‍ණක කථාව දක්වනු ලැබේ.

 

කසිණ පිළිබඳ ප්‍ර‍කිර්‍ණක කථාව

 

 

කසිණ ඵල

 

1. මේ දස කසිණ අතුරෙන් පඨවි කසිණ වශයෙන් වනාහි “එකොපි හුත්‍වා බහුධා හොති” ‘තෙමේ එකෙක් වැ බොහෝ දෙන වෙයි’ යනාදීන් වදාළ පරිදි වීම, අහසැ හෝ ජලයෙහි හෝ පොළෝ මවා එයින් පයින් යාම් සිටීම් හිඳීම් ආදිය කිරීම, පරිත්ත - අප්පමාණ නයයෙන් අභිහායතන ලැබීම යනාදිය ද, (“ප්‍ර‍තිභාගනිමිත්තෝත්පත්තීන් මතු දෙවන-තුන්වන ජවන වීථියෙහි හෝ සතරවන - පස්වන වීථියෙහි හෝ උපදවන ලද ධ්‍යානයට අභිභායතනසඥා යි දත යුතු” යි යනු සන්නයි.)

 

2. ආපෝ කසිණ වශයෙන් පොළොවෙහි නැගීම කිමිදීම, ජල වැසි උපදවීම, ගංගා මුහුදු මැවීම, පෘථිවි පර්‍වත ප්‍රාසාදාදිය සෙලවීම යනාදිය ද

 

      3. තේජෝ කසිණ වශයෙන් දුමීම, දිලීම, අඟුරු වැසි ඉපදවීම, තමාගේ තේජසින් අන්‍යයාගේ තේජස ක්‍ෂය කිරීම, කපුපුළුන් දර ආදිය එක්කොට රැස් වැ තුබූ කල කැමැති දේ ම දවන්නට සමර්‍ථ වීම, දිවැසින් රූ දක්නා පිණිස ආලෝක කිරීම, පිරිනිවන් සමයෙහි තේජෝධාතුයෙන් ශරීරය දවාලීම යනාදිය ද

 

      4. වායෝ කසිණ වශයෙන් වායු සේ ශීඝ්‍ර‍ වැ යාම, වාත වැසි උපදවීම යනාදිය ද

 

5. නීල කසිණ වශයෙන් නිල් රූප මැවීම, අන්‍ධකාර කිරීම, සුවර්‍ණ-දුවර්‍ණ නයින් අභිභායතන ලැබීම, ශුභවිමෝක්‍ෂාධිගමය යනාදිය ද

 

      6. පීත කසිණ වශයෙන් රන්වන් රූ මැවීම, රන් වේවා යි ඉටීම, සුවර්‍ණ-දුවර්‍ණ නයින් අභියාතන ලැබීම, ශුභ විමොක්‍ෂාධිගමය යනාදිය ද

 

      7. ලෝහිත කසිණ වශයෙන් රතු රූප මැවීම, සුවර්‍ණ-දුවර්‍ණ නයින් අභියාතන ලැබීම, ශුබ විමොක්‍ෂාධිගමය යනාදිය ද

 

      8. ඕදාත කසිණ වශයෙන් සුදුවන් රූ මැවීම, ථීන මිද්ධ දුරු කිරීම, අන්‍ධකාර නැසීම, දිවැසින් රූ දක්නා පිණිස ආලෝක කිරීම යනාදිය ද

 

9. ආලෝක කසිණ වශයෙන් ප්‍ර‍භාස්වර රූප මැවීම, ථීන මිද්ධ දුරු කිරීම, අන්‍ධකාර නැසීම, දිවැසින් රූ දක්නා පිණිස ආලෝක කිරීම යනාදිය ද

 

10. ආකාස කසිණ වශයෙන් මුවහ වැ තුබුනු වස්තු ප්‍ර‍කාශ කිරීම, පෘථිවි පර්‍වතාදිය තුළ අහස් මවා එහි ඉරියව් පැවැත්වීම, භිත්ති ආදියෙන් පිටත නො පැකිළ යාම යනාදිය ද සිද්ධ වේ.

 

කසිණ භේද

 

“පඨවි කසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං” යනාදීන් වදාළ බැවින් සියලු කසිණ ම උද්ධ, අධො, තිරිය, අද්වය, අප්පමාන යන ප්‍රභේදයට පැමිණේ.

 

උද්ධ නම් උඩ ගුවන් තලයට අභිමුඛ වැ.

 

අධො නම් යට පොළෝ තලයට අභිමුඛ වැ.

 

තිරිය නම් ක්‍ෂේත්‍ර‍ මණ්ඩලයක් සේ හාත්පසින් පිරිසිඳැ සමහරු උඩට ද සමහරු යටට ද සමහරු හාත්පසට ද කසිණය වඩති. කුමක් හෙයින් මෙසේ වඩත් ද දිවැසින් රූ දක්නා කැමැති අය ආලෝකය ඒ ඒ දිග වඩන්නා සේ මොහු ද ඒ ඒ කාරණයෙන් මෙසේ වඩති. “උද්ධං, අධො, තිරියං” යි කියන ලද්දේ එ හෙයිනි.

 

අද්වය නම් එකක් අනෙකකේ නො වැ දියෙහි ගැලුණුහට සැම දිගින් ම දිය ය අනෙකක් නැත. එ මෙන් පඨවි කසිණය පඨවි කසිණය ම ය. ඒ අන්‍ය කසිණයක් හා මිශ්‍ර‍ නො වේ. (අද්වය නම් මේ යි) සෙසු සියලු තන්හි දු මේ නියා ය.

 

අප්පමාණ නම් එරණ ප්‍ර‍මාණය ය. කසිණය වනාහි සිතින් ආලම්බනය කරන්නේ මුළුල්ලේ ම ආලම්බනය කරයි. මේ මෙහි ආදිය මේ මෙහි මැදය යි ප්‍ර‍මාණ නො ගනී.

 

කසිණ භාවනා සමෘද්ධ නො වන්නේ.

 

“යෙ ච තෙ සත්තා කම්මාවරණෙන වා සමන්තාගතා කිලෙසාවරණෙන වා සමන්තාගතා විපාකාවරණෙන වා සමන්තාගතා අස්සද්ධා අච්ඡන්‍දිකා දූප්පඤ්ඤා අහබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං” ‘යම් සත්ත්‍ව කෙනෙක් කර්‍මාචරණයෙන් හෝ ක්ලේශාවරණයෙන් හෝ විපාකාවරණයෙන් කුශල ධර්‍මයන්හි නියාමය යි සම්මත වූ සම්‍යක් භාවය යි සම්මත වූ ආර්‍ය්‍ය මාර්‍ගයට පැමිණෙන්නට අභව්‍යයෝ ද, මෙසේ කියන ලද්දවුන් අතුරෙන් එකකුට වත් එක කසිණයෙක හෝ භාවනාව සමෘද්ධ නොවේ. එහි,

 

කර්‍මාවරණයෙන් යුක්තයෝ නම් ආනන්තරිය කර්‍ම කළෝ ය.

 

කේලශාවරණයෙන් යුක්තයෝ නම් නියත මිථ්‍යාදෘෂ්ටිකයන් හා උභතෝඛ්‍යඤ්ජනක පණ්ඩකයෝ ය.

 

විපාකාවරණයෙන් යුක්තයෝ නම් අහේතුක ද්විහේතුක ප්‍ර‍තිසන්‍ධිකයෝ ය. ශ්‍ර‍ද්ධා නැත්තෝ නම් බුද්ධාදීන් කෙරෙහි ශ්‍ර‍ද්ධා විරහිතයෝ ය.

 

ඡන්‍ද නැත්තෝ නම් මාර්‍ගානුලොම ප්‍ර‍තිපත්තියෙහි කත්තු කම්‍යතාඡන්‍ද නැත්තෝ ය.

 

ප්‍ර‍ඥා රහිතයෝ නම් ලෞකික ලෝකෝත්තර සම්‍යක්දෘෂටි විරහිතයෝ ය.

 

මොවුන් අභව්‍ය වනුයේ කසිණයෙහි පමණක් නොවේ. සෙසු කර්‍මස්ථානයන්හි දු අභව්‍ය වෙති. මොවුන් අතුරෙන් එකකුටවත් භාවනා සමෘද්ධ නොවේ.

 

එබැවින් විපාකාචරණයෙන් විගත වූ හෙවත් ත්‍රිහේතුක ප්‍ර‍තිසන්‍ධියෙන් ජනිත කුල දරුවා විසින් කර්‍මාවරණ හා කේලශාවරණ දුරින් දුරු කොටැ සද්‍ධර්‍ම ශ්‍ර‍වණය සත්පුරුෂෝපනිඃශ්‍ර‍යාදියෙන් ශ්‍ර‍ද්ධාව හා ඡන්‍දය හා ප්‍ර‍ඥාව හා වඩා කර්‍මස්ථානයන්හි නැවත නැවත යෙදිය යුතු යි.

 

සජ්ජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධිමාර්‍ගයෙහි

සමාධි භාවනාධිකාරයට ඇතුළත් සෙසු කසිණ නිර්‍දෙශ නම්

පස්වන පරිච්ඡේද යි.

 


6 වන පරිච්ඡේදය

අශුභ කර්‍මස්ථාන නිර්දේශය

 

නමො තස්ස භගවතො සම්බුද්ධස්ස.

 

කසිණයන්ට අනතුරු වැ අශුභ දක්වන ලදී. අශුභ වනාහි උද්ධුමාතක, විනීලක, විපුබබ්බක, වික්ඛායිතක, වික්ඛිත්තක, හතවික්ඛිත්තක, වෙලාහිතක, පුවලක, අට්ඨික යයි දශවිධ වේ.

 

1. සුළං පිරිණු සමක් මෙන් මරණින් පසු අනුක්‍ර‍මයෙන් නැගුණු ඉදිමීමෙන් යුක්ත වූයේ උද්ධමාත ය. උද්ධමාතය ම උද්‍ධුමාතක ය. පිළිකුල් හෙයින් කුත්සිත් වූ උද්ධුමාතය හෝ උද්ධුමාතක ය. මුල කීයේ ස්වාර්ථයෙහි ක ප්‍ර‍ත්‍යය ය. දෙ වැනි වැ කීයේ කුත්සිතාර්ථයෙහි ක ප්‍ර‍ත්‍යය යි. මෙයින් ඉදිමි ගිය මළ සිරුර කී නියා දත යුතු.

 

2. විනීල නම් විපරිභිත්න වර්‍ණ ඇත්තේ ය. හෙවත් සුදු-රත් ආදියෙන් මිශ්‍ර‍ වර්‍ණ ඇත්තේ යි. පූර්‍ව වර්‍ණයෙන් පෙරලි ගිය වර්‍ණ ඇත්තේ හෝ විනීල ය. විනීලය ම හෝ කුත්සිත විනීල හෝ විනීලක ය. මෙයින් උස් මස් ඇති තන්හි රත් පැහැ වූ, පූයා රැස් වැ සිටි තන්හි සුදු පැහැ වූ, බොහෝ සෙයින් නිල් පැහැති තන්හි නිල් පට පෙරවියාක් බඳු වූ මළ සිරුර කී නියා දත යුතු.

 

3. බිඳී පැලී ගිය තන්හි වැයෙන පූයා සැරව ඇත්තේ විපුබ්බ ය. විපුබ්බ ම හෝ කුත්සිත විපුබ්බ හෝ විපුබ්බක ය. සැරව වැගිරෙන මළ සිරුරට මේ නමි.

 

4. දෙකඩ කොටැ කැපීමෙන් වෙන් කරන ලද්දේ විච්ඡිද්ද ය. විච්ඡිද්ද ම හෝ කුත්සිත විච්ඡිද්ද හෝ විච්ඡිද්දක ය. මැදින් කපා ලූ මළ සිරුරට මේ නමි.

 

5. ඔබින් මොබින් බලු කැණහිල් ආදීන් විසින් නන් අයුරින් කඩා කන ලද්දේ විකඛායිත ය. වික්ඛායිත ම හෝ කුත්සිත වික්ඛායිත හෝ වික්ඛායිතක ය. එ බදු මළ සිරුරට මේ නමි.

 

6. බලු කැණහිල් ආදීන් විසින් කන ලදු වැ නොයෙක් ආකාරයෙන් ඒ ඒ තැන විසුරුණේ වික්ඛිත්ත ය. වික්ඛිත්ත ම හෝ පිළිකුල් බැවින් කුත්සිත වික්ඛිත්ත හෝ වික්ඛිත්තක ය. අත් අන් තැනෙක පා අන් තැනෙක හිස අන් තැනෙකැ යි මෙසේ ඒ ඒ තැන විසිරී ගිය මළ සිරුරට මේ නමි.

 

7. අඞ්ග ප්‍ර‍ත්‍යඞ්ගයන්හි කාක පාද සේ සිටින්නට ආයුධයෙන් කොටා පෙර කී සේ ඒ ඒ තැන විසුරුවන ලද්දේ හතවික්ඛිත්ත ය. හතවික්ඛිත්ත ම හෝ පිළිකුල් බැවින් කුත්සිත හතවික්ඛිත්ත හෝ හතවික්ඛිත්තක ය. එ බඳු මළ සිරුරට මේ නමි.

 

8. ඔබින් මොබින් ලේ වැගිරෙන්නේ ලෝහිතක ය. වැගිරෙන ලෙහෙ වැකුණු මළ සිරුරට මේ නමි.

 

9. පුළව නම් පණුවෝ ය. පණුවන් වැගුරවන්නේ පුළවක ය. පණුවන් කෑල වැගිරෙන මළ සිරුරට මේ නමි.

 

10. ඇට ම අට්ඨික ය. පිළිකුල් බැවින් කුත්සිත ඇට හෝ අට්ඨික ය. ඇටසැකිල්ල ට ද එක ඇටයකට ද මේ නමි.

 

අමු සොහොන් ආදියෙන් දැමූ මේ උද්ධුමාතකාදීන් අරමුණු කොට උපදනා පටිභාග උග්ගහ නිමිත්තයට ද ඒ නිමිති කොටැ උපදනා ධ්‍යානයට ද මේ උද්ධුමාතකාදි නාම ම යෙදෙන බව දත යුතු.

 

උද්ධුමාතක අසුභය වඩන ආකාර

 

උද්ධුමාතක සරීරයෙහි (ද්‍විවිධ වූ) උද්ධුමාතක නිමිති උපදවා උද්ධුමාතක සංඛ්‍යාත ධ්‍යානය වඩනු කැමැති යෝගී විසින් පඨවි කසිණයෙහි කී සේ ප්‍රිය ගුරුභාවනීයාදි ගුණ සම්පන්න ආචාර්‍ය්‍යයන් විසිනුදු ඒ යෝගි හට අසුභ නිමිත්ත සඳහා යා යුතු සැටි ද, මළකුණ හාත්පස නිමිති සැලකිය යුතු සැටි ද, එකොළොස් ආකාරයෙන් නිමිති ගතයුතු සැටි ද, යන එන මඟ සැළකිය යුතු සැටි දැයි මෙසේ අර්‍ථණාවශාන කොටැ ඇති සියල්ල කියා දිය යුතු. යෝගී විසිනු දු සියල්ල මනා වැ ඉගෙනැ නාතිදූරාදි පෙර කී ආකාර සේනාසනයක් කරා එළඹැ උද්ධමාතක නිමිත්තයක් සොයමින් විසිය යුතු ය. එසේ වසන්නාහු විසිනු දු අසවල් ගම් දොර හෝ වල්මුව හෝ මඟ හෝ පර්‍වත පාදයෙහි හෝ රුක් මුල හෝ සොහොනෙහි හෝ උද්ධුමාතක සරීරයක් ඇතැයි කියන්න වුන්ගේ බස් අසා පිරුණු නදී ආදියට නො තොටින් බස්නකු සේ ලහි ලහියේ නො යා යුතු. කුමක් හෙයින් ද මළ මිනියට චණ්ඩ මෘගයෝ හෝ අමනුෂ්‍යයෝ හෝ අරක් ගෙනැ සිටිති. එයින් ඔහුගේ ජීවිත විනාශය හෝ වන්නේ ය. තව ද ගමන් මඟ ගම් දොරින් නගන තොටින් හෝ කුඹුර අද්දරින් හෝ විණි නම් හැල් ගෙවිලිය ආදි විසභාග රූප හෝ ආපාථයට එන්නේ ය. ඇතැම් විට ඒ සිරුර ම විසභාග වන්නේ ය. පුරුෂයා හට ස්ත්‍රී ශරීරය ද ස්ත්‍රීහට පුරුෂ ශරීරය ද විසභාග ය. එය අළුත මළ එකක් නම් ශුභ වශයෙන් වැටහී යාමෙන් බ්‍ර‍හ්ම චරියන්තරාය හෝ වන්නේ ය. “මා වැන්නේකුට මෙය බැරි නොවේ ය” යි ඉදින් තමා සැලකේ නම් එවැන්නක් විසින් විසභාගා රමමණය කරා ද යා යුතු. එසේ යන්නහු විසින් සංඝස්ථවිරයන්ට හෝ අන්‍ය ප්‍ර‍සිද්ධ භික්‍ෂුවකට හෝ දන්වා යා යුතු. කුමක් හෙයින් ද සොහොනෙහි අමනුෂ්‍යයන්ගේ හෝ සිංහ ව්‍යාඝ්‍රාදීන්ගේ හෝ රූප ශබ්දාදි අනිෂ්ටාරම්මණයකින් පීඩිත වූ ඒ යෝගී භික්‍ෂුහුගේ අඟ පසඟ හෝ වෙවුලා නම් කෑ අහර හෝ නැඟී ඒ නම් අන්‍ය ආබාධයෙක් හෝ වේ නම් ඒ සංඝස්ථවිර හෝ අන්‍ය ප්‍ර‍සිද්ධ භික්‍ෂු හෝ ඔහු සතු විහාරයෙහි සිව්රු රැක ගනිති. දහර භික්‍ෂූන් හෝ සාමණේරයන් හෝ යවා පිළියම් කරවති. තවද සොහොන් භූමිය නම් නිසැක තැනෙකැ යි සිතා සොරකම් කළා වූ ද නොකළා වූ ද සොරු එහි රැස් වෙති. මිනිසුන් විසින් ලුහුබඳනා ලද සොරු භික්‍ෂු ළඟ බඩු දමා ලා පලා යෙති. මිනිස්සු බඩු සහිත සොරා දුටුම්හ යි ඔහු අල්ලා ගෙනැ පෙළා ලති. එබන්දෙක් විණි නම් ඒ තෙරහු “මේ භික්‍සුහට පීඩා නො කරවු. මේ අපට දන්වා මෙ බඳු වැඩක් සඳහා එහි ගියේ ය”යි කියා මිනිසුන්ට දන්වා සැනසුම් ලබා දෙති. දන්වා යාමෙහි මේ අනුසයි. එබැවින් යට දැක්වුණු සේ භික්‍ෂු නමකට දන්වා අසුභ නිමිත්තයක් දැකීමෙහි අභිලාෂ ඇත්තහු විසින් අභිෂේක ශාලාවට යන ක්‍ෂත්‍රියකු සේ යාග ශාලාවට යන යාජකයකු සේ නිධි ස්ථානයට යන දුගියකු සේ ප්‍රීති සොම්නස් උපදවා අටුවාහි දැක්වුණු සැටියෙන් යා යුතු.

 

අටුවායෙහි මෙසේ දක්වන ලදී.

 

“උද්ධුමාතකං අසුභනිමිත්තං උග්ගණහන්තො එකො අදුතියො ගච්ඡති, උපට්ඨිතාය සතියං අපම්මුට්ඨාය, අන්තොගතෙහි ඉන්‍ද්‍රියෙහි අබහිගතෙන මානසෙන ගතාගතමග්ගං පච්චවෙක්ඛමානො, යස්මිං පදෙසෙ උඬුමාතකං අසුභ නිමිත්තං නික්ඛිත්තං හොති. තස්මිං පදෙසෙ පාසාණං වා වම්මික වා රුක්ඛං වා ගච්ඡං වා ලතං වා සතිමිත්තං කරොති. සාරම්මණං කරොති. සනිමිත්තං කත්‍වා සාරම්මණං කත්‍වා උඬුමාතකං අසුභ නිමිත්තං සභාවභාවතො උපලක්ඛෙති. වණ්ණතො පි ලිඞ්ගතො පි සණ්ඨානතො පි දිසතො පි ඔකාසතො පි පරච්ඡෙදතො පි සන්‍ධිතො පි විවරතො නින්නතො ථලතො සමන්නතො. සො තං නිමිත්තං සුග්ගහිතං කරොති. සූපධාරිතං උපධාරෙති. සුවවත්‍ථිතං වවත්‍ථපෙති. සො තං නිමිත්තං සුග්ගහිතං කත්‍වා සූපධාරිතං උපධාරෙත්‍වා සුවවත්‍ථිතං වවත්‍ථපෙත්‍වා එකො අදුතියො ගච්ඡති උපට්ඨිතාය සතියා අසම්මුට්ඨාය අන්තොගතෙහි ඉන්‍ද්‍රියෙහි අබහිගතෙන මානසෙන ගතාගත මග්ගං පච්චවෙක්ඛමානො. සො චද්‍ධකමන්තො පි තබ්හා ගියඤ්ඤෙච වඞ්කමං අධිට්ඨාති. නිසීදන්තො පි තබ්හාගියඤ්ඤෙච ආසනං පඤ්ඤාපෙති.

 

මෙහි සංක්‍ෂිප්තාර්‍ථය මෙසේ ය:-

 

‘උද්ධුමාතක අසුභ නිමිත්ත උගන්නා යෝගාවචර නො මුළා වැ එළඹැ සිටි සිහියෙක් යුක්ත වැ සංවර වූ ඉන්‍ද්‍රියයෙන් යුක්ත වැ බැහැරැ නුලු සිතින් යුක්ත වැ ගිය - ආ මඟ සලකමින් හුදෙකලා වැ යන්නේ ය. ඒ උද්ධුමාතක නිමිත්ත තිබුණු පෙදෙසෙහි පිහිටි ගල හෝ තුඹස හෝ රුක හෝ පඳුර හෝ වැල හෝ සනිමිත්ත කරන්නේ ය. සාරම්මණ කරන්නේ ය. සනිමිත්ත කොටැ සාරම්මණ කොටැ ඒ අසුභ නිමිත්ත සභාග හෙයින් සලකුණු කරන්නේ ය. හේ එය වර්‍ණ, ලිඞ්ග, පණ්ඨාන, දිසා, ඔකාස, පරිච්ඡේද, සන්‍ධි, විවර, නින්න, ඵල, සමන්ත යන ආකාරයෙන් සුග්ගහීත-සූපධාරිත-සුවවත්‍ථිත කරන්නේ ය. එසේ සුග්ගහීත-සූපධාරිත-සුවවත්‍ථිත කොටැ නො මුළා වැ එළඹ සිටි සිහියෙන් සංවර වූ ඉන්‍ද්‍රියයෙන් බැහැර නො වූ සිතින් ආ ගිය මඟ සලකමින් හුදෙකලා වැ යන්නේ ය. හේ සක්මන් කරන්නේ ද ඒ අසුභ නිමිත්ත මනස්කාර සහිත වැ ම සක්මන කරන්නේ ය. හිඳින්නේ ද ඒ මනස්කාර සහිත වැ ම හිඳින්නේ ය.

 

හාත්පස නිමිති සලකුණු කැරැ ගැන්ම කවර අර්‍ථයක් ආනිසංසයක් පිණිස ද, අසමේමාහ පිණිස ය අසමේමාහානිසංස පිණිස ය.

 

එකොලොස් ආකාරයෙන් නිමිති ගැන්ම කවර අර්‍ථයක් ආනිසංසයක් පිණිස ද, අසූභාරම්මණයෙහි සිත එළවා බැඳීම පිණිස ය. ඒ ආනිසංස පිණිස ය.

 

ආ ගිය මඟ සැලකීම කවර අර්‍ථයක් කවර ආනිසංසයක් පිණිස ද, කර්‍මස්ථාන වීථියට මනා කොටැ පිළිපැදීම පිණිස ය. එම ආනිසංස පිණිස ය.

 

ඒ යෝගාවචර ආනිසංස දක්මින් රත්න සංඥා වැ ගෞරව උපදවා ප්‍රිය කරමින් “ඒකාන්තයෙන් මම මේ ප්‍ර‍තිපදායෙන් ජරා මරණයෙන් මිදී ගන්නේමි”යි ඒ අරමුණෙහි සිත බැඳැලන්නේ ය. හේ වස්තුකාම කේලශකායෙන් වෙන් වැ -පෙ- ප්‍ර‍ථම ධ්‍යානය ලබා ගෙනැ වාසය කරන්නේ ය. ඔහු විසින් මෙසේ රූපාවචර ප්‍ර‍ථම ධ්‍යානය ලබා ගන්නා ලද්දේ වේ දිව්‍ය විහරණය ද භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තු ද ලබා ගන්නා ලද්දේ වෙයි.”

 

මේ අර්‍ථය ම මතු විස්තර කරති.

 

අටුවායෙහි මෙසේ දැක්වුණු හෙයින් යමෙක් තමාගේ අසංයත වූ සිත දමනය කැරැ ගැන්ම සඳහා මළ සිරුරු දක්නට යන්නේ නම් හේ ගෙඩිය ගසා ගණයා රැස් කරවා ගෙනැ ද යේවා. කර්‍මස්ථාන ශීර්‍ෂයෙන් යන්නහු විසින් එසේ නො කොටැ දෙවන්නකු හෝ නො ගෙනැ එකලා වැ මූල කර්‍මස්ථානය සිතින් නො හැරැ එම සිහි කරමින් සොහොනෙහි සුනඛාදීන්ගෙන් වන උපද්‍ර‍ව වළකනු සඳහා සැරයටිය හෝ අන්කිසි යෂ්ටියක් හෝ ගෙනැ මූල කර්‍මස්ථානය මෙනෙහි කිරීමෙන් නුමුළා සිහි ඇති වැ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන් මනා ව සංවර කොටැ ගෙනැ බැහැර නො ගිය සිහි ඇති වැ ගමන් කළ යුතු.

 

විහාරයෙන් නික්මෙත් ම අසුවල් දිගැ අසුවල් දොරින් නික්මුණෙමි යි ද්වාරය සිහියේ තබා ගත යුතු. ඉක්බිති යම් මඟකින් යන්නේ නම් ඒ මඟ “මෙය නැගෙනහිරට අභිමුඛ ව ගියේ ය, මෙය බස්නාහිරට අභිමුඛ වැ ගියේ ය, මෙය උතුරු දිගට - මෙයට දකුණු දිගට - මෙය සතර අනු දිගට අභිමුඛ වැ ගියේ ය යි ව්‍යවස්ථා කැරැ ගත යුතු. තවද මෙතැන දී වමට ගියේ ය, මෙතැන දී දකුණට ගියේ ය, මෙ තැන ගල ය, මෙ තැන තුඹස ය, මෙ තැන රුක ය, මෙ තැන ගස ය, මෙ තැන වැල යයි මෙසේ ගමන් මඟ ව්‍යවස්ථා කැරැ ගනිමින් නිමිත්ත ස්ථානයට යා යාතු ය. එසේ යත ද උඩු සුළඟට නො යා යුතු. කුමක් හෙයින් ද උඩු සුළඟට යත් ම කුණු ගඳ නැහැයේ වැදී හිස් මුල් හෝ අලළන්නේ ය. ආහාර හෝ නංවන්නේ ය. මේ නියා කුණප ස්ථානයකට ආයෙමි යි විපිළිසර හේ දනවන්නේ ය. එබැවින් උඩු සුළඟ හැරැ යටි සුළඟට යා යුතු අතර ප්‍ර‍පාතයෙක් හෝ පර්‍වතයෙක් හෝ පහණෙක් හෝ වැටෙක් හෝ කටුලැහැබෙක් හෝ දියකඩෙක් හෝ මඩ බිමෙක් හෝ වේ නම් එයින් උඩු සුළඟට යා නො හැකි නම් සිවුරු කනින් නැහැය වසා ගෙනැ යා යුතු.

 

මේ ඒ යෝගී හට ගමන් වත යි.

 

එසේ ගියහු විසින් ලා හෙලා අශුභ නිමිත්ත නො බලා දිසා ව්‍යවස්ථා කැරැ ගත යුතු. ඇතැම් දිසා භාගයෙක සිටියහුට අරමුණ විභූත වැ නො වැටහෙයි. සිත ද භාවනාවට යෝග්‍ය නො වෙයි. එබඳු දිසාභාග හැරැපියා අරමුණ විභූත වැ වැටහෙන සිත ද භාවනාවට යෝග්‍ය වන දිසාභාගයෙක සිටිය යුතු. එසේම වාතයට මුහුණ ලා ද පිටු පා ද නො සිටිය යුතු. වාතයට මුහුණ ලා සිටුත් ම කුණු ගඳින් පෙළීමෙන් සිත වික්‍ෂිප්ත වෙයි. වාතයට පිටුපා සිටුත් හොත් කුණපයට අධිගෘහිත අමනුෂ්‍යයෝ වූ නම් ඔහු කිපී අනර්ථ කරති. එබැවින් මඳක් අයින් වැ ඉතා අනුවාතයෙහි නො සිටිය යුතු. එසේ සිටින්නහු විසිනුදු ඉතා දුර වැ ද ඉතා ළං වැ ද නො සිටිය යුතු. පා ළඟ හෝ හිස ළඟ හෝ නො සිටිය යුතු. කුමක් හෙයින් ද ඉතා දුර වැ සිටින කල්හි අරමුණ විභූත නොවේ. ඉතා ළංවැ සිටින කල්හි බිය උපද්දි පාළඟ හෝ ඉස ළඟ හෝ සිටි කල්හි අසුභය මුළුල්ල නො පෙනෙයි. එබැවින් ඉතා දුරත් නොවැ ඉතා ළඟත් නොවැ පහසුයෙන් බැලිය හැකි මැද හරියේ සිටිය යුතු. එසේ සිටැ “තස්මිං පදෙසෙ පාසාණං වා -පෙ- ලතං වා සනිමිත්තං කරොති” යි අටුවායෙහි කී පරිදි නිමිති සැලකිය යුතු.

 

නිමිති සලකන ආකාර

 

නිමිත්ත අවට ඇසු හමුවේ ගලෙක් ඇත් නම් මේ ගල උසය කියා හෝ කුඩාය කියා හෝ මහත්ය කියා හෝ තඹ පැහැය කියා හෝ කලු පැහැය කියා හෝ සුදු පැහැය කියා හෝ දිගය කියා හෝ වටය කියා හෝ ව්‍යවස්ථා කැරැ ගත යුතු. එසේ ව්‍යවස්ථා කොටැ ගෙනැ “මේ ගල මෙ තැන ය, අසුභ නිමිත්ත මෙතැන ය. මේ අසුභ නිමිත්ත ය, මේ ගල යයි සැලකිය යුතු තුඹසෙක් නම් එ ද උස ය කියා හෝ මිටිය කියා හෝ කුඩාය කියා හෝ මහත්ය කියා හෝ තඹ පැහැය කියා හෝ කලු පැහැය කියා හෝ දිගය කියා හෝ වටය කියා හේ ව්‍යවස්ථා කැරැ ගත යුතු. එසේ ව්‍යවස්ථා කොටැ ගෙනැ තුඹස මෙ තැනය අසුභ නිමිත්ත මෙතැන ය, මේ තුඹස ය, මේ අසුභ නිමිත්ත යයි සැලකිය යුතු. රුකෙක් නම් එද අසතුයෙක කියා හෝ නුගයෙක කියා හෝ කලුසුයෙක කියා හෝ ගිවුළුවෙක කියා හෝ උස, මිටි, කුඩා, මහත්, කලු, සුදු කියා හෝ ව්‍යවස්ථා කැරැ ගත යුතු. එසේ ව්‍යවස්ථා කොටැ මේ ගස මෙතැන ය. අසුභ නිමිත්ත මෙ තැනය, මේ ගසය, මේ අසුභ නිමිත්ත යයි සැලකිය යුතු. ඉදින් ගසෙක් නම් එ ද හිඳිය කියා හෝ කරඹය කියා හෝ කණෙරුය කියා හෝ කටුකරඬුය කියා හෝ උස, මිටි, කුඩා, මහත් කියා හෝ ව්‍යවස්ථා කැරැ ගත යුතු. එසේ ව්‍යවස්ථා කොටැ ගෙනැ මේ ගස මෙ තැන ය, මේ අසුභ නිමිත්ත මෙ තැන ය, මේ ගස ය, මේ අසුභ නිමිත්ත යයි සැලකිය යුතු. ඉදින් වැලෙක් නම් එද ලබු කියා හෝ කොමඩු කියා හෝ පූඩා කියා හෝ කළු වැල් කියා හෝ රසකිඳ කියා හෝ ව්‍යවස්ථා කැරැ ගත යුතු. එසේ ව්‍යවස්ථා කොටැ ගෙනැ මේ වැල මෙ තැනය, අසුභ නිමිත්ත මෙ තැනය, මේ අසුභ නිමිත්ත ය මේ වැල යයි සැලකිය යුතු. “සනිමිත්ත කරන්නේ ය, සාරම්මණ කරන්නේ ය” යනුදු මෙහි ම ඇතුළති. නැවත නැවත ව්‍යවස්ථා කිරීම සනිමිත්ත කිරීම ය. මේ ගල ය මේ අසුභ නිමිත්ත ය. මේ අසුභ නිමිත්ත ය මේ ගලය යි දෙක-දෙක එක් කොටැ ව්‍යවස්ථා කිරීම සාරම්මණ කිරීම ය. ‘මෙසේ සනිමිත්ත කොටැ සාරම්මණ කොට සභාග හෙයින් සලකුණු කරන්නේ ය”යි කී බැවින් එහි සභාග භාවය - අනන්‍ය සාධාරණ භාවය - ඒ නිමිත්ත පිළිබඳ උද්ධුමාතභාවය මෙනෙහි කළයුතු. වනිතය, උද්ධුමාතය යි මෙසේ ස්වභාවයේ සරසයෙන් ව්‍යවස්ථා කටයුතුය යි කී සේ යි. (“වනිතා” යනු උද්ධුමාතකය යන අර්‍ථ යි. ‘වනිතං ති සූනා” යනු ටීකා යි. ස්වභාව යනු පිළිකුල් බැවින් රසය යි කියනු ලැබ්. “ස්භාවො එව තථෘ නිප්ඵජ්ජනතො රසො ති වුතේතා” යනු ටීකා යි.”)

 

මෙසේ ව්‍යවස්ථා කොටැ වර්‍ණ, ලිඞ්ග, සණ්ඨාන, දිසා, ඕකාස, පරිච්ඡේද යන සයාකාරයෙන් නිමිත්ත ග්‍ර‍හණය කළ යුතු.

 

ෂට්විධ නිමිත්ත ග්‍ර‍හණ විධි

 

ඒ යෝගී විසින් මේ ශරීරය කල්ලකුගේ හෝ සුද්දකගේ හෝ මගුරුපැහැ ඇත්තකුගේ හෝ යි වර්‍ණ වශයෙන් ව්‍යවස්ථා කළ යුතු.

 

ලිඞ්ග වශයෙන් වනාහි ස්ත්‍රී ලිඞ්ග - පුරුෂ ලිඞ්ගය යි ව්‍යවස්ථා නො කොටැ ප්‍ර‍ථම වයසෙහි හෝ මධ්‍යම වයසෙහි හෝ පශ්චිම වයසෙහි හෝ සිටියකු ගේ යයි ව්‍යවස්ථා කළ යුතු.

 

සණ්ඨාන වශයෙන් උද්ධුමාතක සටහන් වශයෙන් ම මේ මෙහි හිස් සටහන, මේ ග්‍රීවා සටහන, මේ අත් සටහන, මේ උදර සටහන, මේ කෙණ්ඩා සටහන, මේ පා සටහන යයි ව්‍යවස්ථා කළ යුතු.

 

දිශා වශයෙන් මේ ශරීරයෙහි දිශා දෙකෙක. නැබින් යට යට දිසාව ය. නැබින් උඩ උඩු දිසාය යි ව්‍යවස්ථා කළ යුතු. නොහොත් මම මේ දිශායෙහි ය. අසුභ නිමිත්ත මේ දිසායෙහි යයි ව්‍යවස්ථා කළ යුතු.

 

අවකාශ වශයෙන් මේ අවකාශයෙහි අත් ද, මේ අවකාශයෙහි පා ද, මේ අවකාශයෙහි මැදුම් කය ද, පිහිටියේ ය යි ව්‍යවස්ථා කළ යුතු. නොහොත් මම මේ අවකාශයෙහි, අශුභ නිමිත්ත මේ අවකාශයෙහි යයි ව්‍යවස්ථා කළ යුතු.

 

පරිච්ඡේද වශයෙන් මේ සිරුර යට පතුලින් ද උඩ කෙසගින් ද, සරස සිවියෙන් ද පිරිසුන් ය. ඒ පිරිසුන් තන්හි දෙතිස් කුණපයෙන් පිරුණේ යයි ව්‍යවස්ථා කළ යුතු. යම් පමණ සිරුරු පෙදෙසක් උද්ධුමාත වශයෙන් නුවණින් පිරිසිඳැ ගනී ද එපමණක් ම මේ මෙ බඳු උද්ධුමාතයෙකැ යි හෝ පරිච්ඡේද කළ යුතු.

 

පිරිමිහට ස්ත්‍රී ශරීරය ද, ස්ත්‍රීහට පිරිමි ශරීරය ද සප්පාය නො වේ. විසභාගයෙහි අසුභාරම්මණය නො වැටහෙන බැවිනි එයින් කිමෙක් වේ ද, කේලශොත්පත්තියට ම කාරණ වේ. “උග්ඝාණිතාපි හි ඉත්‍ථි පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති” ‘ඉදිමී ගිය හෝ කුණු වැ ගිය ස්ත්‍රී ද පිරිමින්ගේ සිත පොළඹවා ගෙන සිටින්නී ය’යි මැදුම්සඟි අටුවාවෙහි දැක්විණි. එබැවින් සභාග සිරුරෙහි ම සවැදෑරුම් නිමිති ගත යුතු.

 

පෙර බුදුවරයන් වෙත කමටහන් පුරුදු කළ සොසානිකාදි ධුතාඞ්ග පරිහරණ කළ - මහාභූත පිරිමැදී - සංස්කාර පරිග්‍ර‍හ කළ - නාම රූප ව්‍යවස්ථා කළ - සත්ත්‍වසංඥා උගුලාලු - මහණුවම සිදු කළ - කුසල වාසනා වුසූ - කුසල භාවනා වැඩු - කුශල බීජ සහිත ඥානොත්තර වූ - මඳ කෙලෙස් ඇති කුලපුත්‍ර‍හට බැලූ බැලූ තන්හි ප්‍ර‍තිභාග නිමිත්ත වැටහෙන්නේ ය. ඉදින් එසේත් නො වැටහෙතේ හොත් යට දැක්වුණු ෂඩාකාරයෙන් නිමිති ගන්නා කල වැටහෙන්නේ ය. එසේත් නො වැටහේ නම් සන්‍ධි වශයෙන්, විවර වශයෙන්, තින්න වශයෙන්, ථල වශයෙන්, සමන්ත වශයෙන් යන පස් ආකාරයෙන් නිමිත්ත ග්‍ර‍හණය කළ යුතු.

 

පංචවිධ නිමිත්ත ග්‍ර‍හණ විධි

 

සන්‍ධි වශයෙන් නිමිත්ත ග්‍ර‍හණය නම් එක්සිය අසූවක් සන්‍ධි වශයෙන් නිමිති ගැන්ම ය. ඉදිම ගිය ශරීරයෙහි එතෙක් සන්‍ධි වශයෙන් කෙලෙස නිමිත්ත ග්‍ර‍හණය කරන්නේ ද, ඉදිමුණු ශරීරයෙහි බොහෝ සේ සන්‍ධි නො පෙනී යෙයි. එබැවින් දසරු සන්‍ධි වැලමිටි සන්‍ධි, මණිබන්‍ධ සන්‍ධි යන දකුණත සන්‍ධි තුන ය; එසේම වමත සන්‍ධි තුන ය, කටි සන්‍ධි, දණ සන්‍ධි, බොලට සන්‍ධි යන දකුණු පා සන්‍ධි තුන ය, එසේ ම වම් පා සන්‍ධි වශයෙන් ව්‍යවස්ථා කට යුතු.

 

විවර වශයෙන් යූ තන්හි විවර නම් දකුණත හා දකුණැල අතර ය, වමත හා වම් ඇල අතර ය, දෙපා අතර ය, බඩ හා පෙකණි අතර හෝ උදර අතර ය. කන් විවරය යි මෙසේ විවර වශයෙන් ව්‍යවස්ථා කටයුතු. ඇස් පියවී - දැල්වී තුබූ බව හෝ මුව පියවී-හැරී තුබූ බව හෝ ව්‍යවස්ථා කට යුතු.

 

නින්න වශයෙන් යු තන්හි ශරීරයේ වළ තැන්-ඇස් වළ හෝ ඇතුළු මුව හෝ ගළවළුව හෝ ව්‍යවස්ථා කටයුතු නොහොත් මම වල තන්හි, ශරීරය ගොඩ තන්හි ය යි ව්‍යවස්ථා කට යුතු.

 

ථල වශයෙන් යු තන්හි ශරීරයේ උස් තැන් - දණ හෝ ළය හෝ නළල හෝ ව්‍යවස්ථා කටයුතු නොහොත් මම ගොඩ, ශරීරය මිටි තැන ය යි ව්‍යවස්ථා කට යුතු.

 

සමන්ත වශයෙන් යු තන්හි සිරුර මුළුල්ල හාත්පසින් ව්‍යවස්ථා කට යුතු. මුළු සිරුරෙහි නුවණ මෙහෙයා විභුත වැ වැටහෙන තැන උද්ධුමාතකය යි සිත පිහිටුවිය යුතු. ඉදින් එසේත් නිමිත්ත නො වැටහේ නම් උදරය අවසන් කොට ඇති උපරිම ශරීරය අධිකවැ ඉදිමෙන බැවින් එහි “උද්ධුමාතකය උද්ධුමාතකය”යි සිත පිහිටුවිය යුතු.

 

දැන් “හේ ඒ නිමිත්ත සුග්ගහිත කරන්නේ ය” යනාදියෙහි විනිශ්චය කථාව මෙසේ ය:-

 

ඒ යෝගි විසින් ඒ ශරීරයෙහි වර්‍ණාදි වශයෙන් හා සන්‍ධි විචරාදි වශයෙන් හා යට කී සේ උද්ධුමාතක නිමිති ගැනීම් වශයෙන් මනා වැ නිමිති ගත යුතු. මනා වැ සිහි එළවා ආවර්‍ජනය කළ යුතු එසේ කිරීමෙන් මනා වැ උපධාරණය කළ යුතු. ව්‍යවස්ථා කල යුතු. ශරීරයට නුදුරු වැ නො ළං වැ සිට ගෙනැ හෝ හිඳ ගෙන ඇස දල්වා බලා ගෙනැ නිමිති ගත යුතු. “උද්ධුමාතක අසුභය, උද්ධුමාතක අසුභය” යි සිහ දහස් වර ඇස දල්වා බැලිය යුතු. ඇස පිය ලා ආවර්‍ජනය කළ යුතු. මෙසේ නැවත නැවත බලත්ව ආවර්‍ජනය කරත් ම උග්ගහ නිමිත්ත සුග්ගහීත වෙයි. සුග්ගහීතය වන්නේ කවර විටෙක ද ඇස දල්වා බලන විට ඇස පියා ලා සිතන විට ද එක සේ ආපාත ගත වේ නම් එවිට සුග්ගහීත වූයේ වෙයි. මෙසේ සුග්ගහීත-සූපධාරිත-සුවවත්‍ථිත කොටැ එහි දී ම භාවනාවශානයට යා නොහැකි නම්, එන කලට, කී සේ හුදෙකලා වැ ඒ නිමිත්තම මෙනෙහි කරමින් මනා වැ සිහි එළවා සංවර ඉන්‍ද්‍රිය ඇති වැ බැහැර නුලු සිත් ඇති වැ ස්වකීය සේනාසනයට ම යා යුතු.

 

සොහොනින් නික් මැ එන්නහු විසිනුදු එන මඟ ව්‍යවස්ථා කළ යුතු. එන මඟ මේ නැගෙහිරට අභිමුඛය, මේ බටහිරට අභිමුඛය, මේ උතුරට අභිමුඛය, මේ දකුණට අභිමුඛය, මේ අනුදිගට අභිමුඛය, මේ තැන දී වමින් යෙයි, මෙ තැනින් දකුණින් යෙයි, මෙ තැන ගලය, මෙතැන තුඹසය, මෙ තැන රුකය මෙ තැන ගසය, මේ තැන වැලය යි ව්‍යවස්ථා කරමින් අවුත් සක්මනට නැගැ සක්මන් කරන විට ද තද්භාගික සක්මනකට ම නැංග යුතු. එයින් කීයේ අශුභ නිමිත්තයට අභිමුඛ භූමි ප්‍රදේශයක ම සක්මන් කළ යුතු බව යි. හිඳ ගන්නා විට ද තද්භාගික කොටැ මැ ආසනය පණවා ගත යුතු. ඉදින් ඒ දිගැ හෙබක් හෝ ප්‍ර‍පාතයක් හෝ රුකක් හෝ වැටක් හෝ මඩක් හෝ ඇති හෙයින් තද්දිශානිමුඛ භූමි ප්‍රදේශයක සක්මන් කළ නො හැකි නම් අවකාශ නැති බැවින් ආසනය හෝ පණවා ගත නො හැකි නම් ඒ දිග නො බලමින් වුව ද අවකාශානුරූප තැනෙක සක්මන් කළ යුතු. හිඳ ගත යුතු. එහෙත් සිත නම් ඒ දිශාවට ම අභිමුඛ කැරැ ලිය යුතු යි.

 

“හාත්පස නිමිති සලකුණු කැරැ ගැන්ම කවර අර්‍ථයක් කවර ආනිසංසයක් පිණිස ද අසම්මොභය පිණිස ය” යනාදි විසර්‍ජනයෙහි අභිප්‍රාය මෙසේ ය.

 

සන්‍ධ්‍යාකාලාදි අවේලාවෙක උද්ධුමාතක නිමිත්ත ඇති තැනට ගොස් හාත්පස නිමිති සලකුණු කොටැ ගෙනැ නිමිති ගන්නා සඳහා ඇස් දල්වා බලන්නකුට ඒ මළ සිරුර නැඟී සිටියාක් මෙන් ද, මැඩ ගෙනැ එන්නාක් මෙන් ද, පසුපස්සේ ලුහුබැඳැ එන්නාක් මෙන් ද වැටහේ නම් ඒ යෝගී වේතාලයක් බඳු බියකරු වූ ඒ අරමුණු දැකැ සිත වික්‍ෂිප්ත වැ උමතුවකු සේ වෙයි. බියට තැති ගැන්මට ලොමුදහ ගැන්මට පැමිණෙයි. පාළියෙහි දැක්වුණු අටතිස් අරමුණු අතුරෙන් මේසා බියකරු අරමුණෙක් නම් නැති. ඣානවිභ්භන්තක වන්නේ මේ අරමුණේ දී යැ. මේ ඒ සා බිය කරු ය. (ඣානවිබ්භන්තක නම් ශීලයෙන් මන්ත්‍රයෙන් පිරිහුණුවකු සේ ධ්‍යානයෙන් පිරිහුණුවෙක.) එහෙයින් ඒ යෝගී සිත දැඩි කොටැ ගෙන මනා සිහිය එළවා ගෙනැ “මළ සිරුරු නැගිටැ ලුහුබැඳීමෙක් නම් නො වන්නෙකි. ඒ ළඟ තුබුණු ගල හෝ වැල හෝ එත් නම් ඒ සිරුර ද එන්නේ වේ. ගල හෝ වැල හෝ නො ඒ නම් මළ සිරුර ද එසේ ම නො එන්නේ මය. මේ තොපට වැටහෙන ආකාරයෙකි. භාවනා සංඥායෙන් සිදුවූවෙකි. තොපට කර්‍මස්ථානය වැටහුණේ අද ය. මහණ බිය නො වන්නැ යි ත්‍රාසය විනොයා මාගේ පරිශ්‍ර‍මය සඵල වී යයි හාසය දනවා ඒ නිමිත්තෙහි සිත මෙහෙයිය යුතු. එවිට විශේෂයට පැමිණෙන්නේ ය. “හාත්පස නිමිති සලකුණු කොටැ ගැන්ම අසම්මෝහය පිණිස ය”යි කීයේ මේ නිසාය.

 

“එකොළොස් ආකාරයෙන් නිමිති ගන්නේ අසුභාරම්මණයෙහි සිත එළවා බඳින්නේ ය.” ඒ යෝගීහට ඇස දල්වා බැලීමෙන් උද්ග්‍ර‍හ නිමිත්ත උපදනේ ය. උද්ග්‍ර‍හ නිමිත්තෙහි සිත මෙහෙයීමෙන් ප්‍ර‍තිභාග නිමිත්ත උපදනේ ය. එහි සිත මෙහෙයීමෙන් අර්පණාවට පැමිණේ. අර්පණායෙහි සිටැ විවසුන් වඩා රහත් වන්නේ ය. “එකොළොස් ආකාරයෙන් නිමිති ගන්නේ අසුභාරම්මණයෙහි සිත එළවා බැඳීම පිණිස ය” යි කීයේ එහෙයිනි.

 

“ගිය ආ මඟ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කිරීම වීථි සම්පාදනය පිණිස ය” ගිය ආ මඟ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කිරීම කර්‍මස්ථාන වීථිය මනාව ප්‍ර‍තිපාදනය කිරීම අර්‍ථ කොටැ ඇත්තේ ය. එහි විස්තරය මෙසේ දත යුතු.

 

කර්‍මස්ථානය ගෙනැ එන මේ භික්‍ෂූන් අතින් යමෙක් අතර මඟදී “ස්වාමීනි අද කවරදා දැ”යි දවස් විචාළ හොත් අන්‍ය ප්‍ර‍ශ්නයක් හෝ විචාළ හොත් පිළිසඳර හෝ කථා කළ හොත් “මම කර්‍මස්ථාන වඩන්නෙක්මි”යි තුෂ්ණිම්භූත වැ නො ආ යුතු ය. දවස කිය යුතු ය. ප්‍ර‍ශ්නය විසඳිය යුතු ය. නො දනී නම් නොදනිමි” යයි කිය යුතු ය. දැහැමි පිළිසඳර කළ යුතු. එසේ කරන කල්හි ලැබගත් තරුණ නිමිත්ත නැසී යා හැකිය. ඒ නැසී යත ද විචාළ කල දවස කිය යුතු ය. ප්‍ර‍ශ්නය නො දන්නේ නම් “නො දනිමි”යි කිය යුතු ය. දනිත් නම් එක දේශයකින් හෝ කිය යුතුය. පිළිසඳර ද කළ යුතු ය. තවද ආගන්තුක භික්‍ෂූන් දැක ආගන්තුක පිළිසඳර කළ යුතු ය. සෙසු සෑ මලු - බෝමලු - පොහෝගේ - බොජුන්හල් - ජන්තාඝර ආචාර්‍ය්‍ය - උපාධ්‍යාය -ආගන්තුක - ගමික යන සියලු කඳුවත් ද පිරිය යුතු ය. ඒ වත් පුරන කල්හි දු තරුණ නිමිත්ත නැති වැ යන්නේ ය. යළි ගොස් නිමිත්ත ගන්නෙමි යි යායැටි වුව ද අමනුෂ්‍යයන්ගෙන් හෝ චණ්ඩමෘගයන්ගෙන් හෝ යුක්ත බැවින් සොහොනට යන්නට පවා නො හැකි වෙයි. නිමිත්ත හෝ නැති වැ යෙයි. උද්ධුමාතක නිමිත්ත දවසක් දෙකක් තිබී විනීලකාදි බවට හැරෙන්නේ ය. කර්‍මස්ථාන අතුරෙන් මේ සා දුර්‍ලභ කර්‍මස්ථානයෙක් නැති. එබැවින් නිමිත්ත නැති වැ ගිය කල්හි ඒ යෝගී රාත්‍රිස්ථානයෙහි හෝ දිවාස්ථානයෙහි හෝ හිඳ ගෙනැ “මම මේ දොරින් විහාරයෙන් නික්මැ අසුවල් දිගට අභිමුඛ වූ මඟට පැමිණැ අසුවල් තැන දී වමට හැරුණෙමි, අසුවල් තැන දී දකුණට හැරුණෙමි, ඒ මඟ අසුවල් තැන ගලය, අසුවල් තැන තුඹසය, රුකය, ගසය, වැලය මම ඒ මඟින් ගොස් අසුවල් තැන දී අසුභය දිටිමි. එහිදී අසුවල් දිගට අභිමුඛ වැ සි මේ මේ ආකාරයෙන් හාත්පස නිමිති සලකා මෙසේ අසුභ නිමිත්ත උගෙනැ අසුවල් දිග සොහොනින් නික්මැ මෙබඳු මාර්‍ගයෙන් මම ම් දේ කරමින් අවුත් මෙහි උන්නෙමි”යි පලඟ බැඳැ උන් තැන දක්වා ගිය ආ මඟ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතුය. එසේ කරන කල්හි ඒ නිමිත්ත ප්‍ර‍කට වන්නේ ය. ඉදිරියෙහි තිබෙන්නා සේ වැටහෙන්නේ ය. කර්‍මස්ථානය පෙරසේම වීථියට බැස ගන්නේ ය. “ගිය ආ මඟ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කිරීම වීථිප්‍ර‍තිපාදනය පිණිසය” යි කීයේ එහෙයිනි.

 

“ආනිසංස දක්වමින් රත්නසංඥා වැ ගෞරව උපදවා ප්‍රිය කෙරෙමින් ඒ අරමුණෙහි සිත බැඳ තබන්නේ ය.”

 

උද්ධුමාතක අසුභයෙහි සිත මෙහෙයා ධ්‍යාන උපදවා ධ්‍යානපාදස්ථාන විවසුන් වඩා ඒකාන්තයෙන් මේ ප්‍ර‍තිපත්තියෙන් ජරා මරණයෙන් මිදී ගන්නෙමි”යි මෙසේ ආනිසංසය දක්ක යුතු ය.

 

දුගී මිනිසකු මහඟු මිණිරුවනක් ලත් කල “ම විසින් දුර්‍ලභයෙක් තබන ලදැ”යි එහි රත්නසංඥ වැ ගෞරව උපදවා මහත් ප්‍රේමයෙන් එය රැකැ ගන්නේ ය. ‘මවිසින් ද මේ ලබා ගන්නා ලද්දේ දුර්‍ලභ කර්‍මස්ථානයෙකි. දුගියාට මහඟු මිණි රුවන බඳු ය. චතුධාතුදම්මට්ඨානිකයා තමා පිළිබඳ වූම සතර මහාභූත අරමුණු කරන්නේ ය. ආණාපාණකම්මට්ඨානිකයා තමාගේ ම නාසාවාතය අරමුණු කරන්නේ ය. කසිණකම්මට්ඨානිකයා කසිණමණ්ඩලය කොටැ පහසු සේ භාවනා කරන්නේ ය. මෙසේ සෙසු කර්‍මස්ථාන සුලභ ය. මේ වනාහි දවසක් දෙකක් පමණක් පවත්නේ ය. එයින් පසු විනීලකාදිත්‍වයට පෙරළෙන්නේ ය. “මෙයට වඩා දුර්‍ලභ කමටහනෙක් නැතැ”යි එහි රතනසංඥ වැ ගෞරව උපදවා ප්‍රිය වඩමින් ඒ නිමිත්ත රැකැ ගත යුතු. රාත්‍රී ස්ථානයෙහි ද දිවා ස්ථානයෙහි ද “උද්ධුමාතක අසුභය, උද්ධුමාතක අසුභය” යි පුන-පුනා සිත බැඳිය යුතු ය. පුන-පුනා ආවර්‍ජනය කළ යුතු ය. මෙනෙහි කළ යුතු ය. තක්කාහත-විත්තාහත කළ යුත ය. මෙසේ කරත් ම ඔහුට ප්‍ර‍තිභාග නිමිත්ත උපදින්නේ ය.

 

උද්ග්‍ර‍හ නිමිත්තයේ හා ප්‍ර‍තිභාග නිමිත්තයේ වෙනස

 

උද්ග්‍ර‍හ නිමිත්ත විරූප වැ පිළිකුල් වැ භයානක වැ වැටහෙන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්ත කුස පුරා කා නිදන ස්ථුලාඞ්ග ප්‍ර‍ත්‍යඞ්ග ඇති පුරුෂයකු සේ වැටහෙන්නේ ය.

 

ප්‍ර‍තිභාග නිමිත්ත පහළවත් ම අශුභභාවනානුභාවයෙන් බාහිර වූ කාමසංඥාව දුරු වූ බැවින් විෂ්කම්භන වශයෙන් ඔහුගේ කාමච්ඡන්‍දය ප්‍ර‍හීණ වන්නේ ය. ලේ නැති වීමෙන් ලේ මුල් කොටැ ඇති පූයාව සැරව ද නැති වන්නා සේ අනුනය (කාමච්ඡන්‍දය) ප්‍ර‍හාණයෙන් ඒ මුල් කොට ඇති ව්‍යාපාදයද ප්‍ර‍හීණ වේ. එසේම ආරබ්ධ වීර්‍ය්‍ය ඇති බැවින් ථීන මිද්ධය ද, විපිළිසරයට ප්‍ර‍තිපක්‍ෂ වූ ශාන්තධර්මානුයෝගයෙන් උද්ධච්චය-කුක්කුච්චය ද අධිගත විශේෂය තමහට ප්‍ර‍ත්‍යක්‍ෂ වූ බැවින් ඒ ප්‍ර‍තිපත්තිය නියම කොටැ වදාළ ශාස්තෘන් වහන්සේ කෙරෙහිත් ප්‍ර‍තිපත්තිය කෙරෙහිත් ප්‍ර‍තිපත්ති ඵලය කෙරෙහිත් විචිකිච්ඡාව ද ප්‍ර‍හීණ වේ. මෙසේ පඤ්චනීවරණයන්ගේ විෂ්කම්භන ප්‍ර‍හාණය කියන ලදි.

 

ඒ හා සමඟ ම ඔහුට ඒ ප්‍ර‍තිභාග නිමිත්තෙහි සිත නැංවීම ලක්‍ෂණ කොටැ ඇති විතර්‍කය ද, ඒ නිමිත්ත - පිරිමැදීම කෘත්‍ය කොට ඇති විචාරය ද ලත් විශේෂාධිගම ය හේතුකොටැ වන ප්‍රීතිය ද, ප්‍රීතිමත්හට පස්සද්ධිය ලැබෙන බැවින් පස්සද්ධි නිමිත්ත කොටැ ඇති සුඛය ද, සුඛිතහට චිත්තසමාධි ලැබෙන බැවින් සුඛ නිමිති කොටැ ඇති ඒකාග්‍ර‍තාව ද යන ධ්‍යානාඞ්ගයෝ පහළ වෙති. මෙසේ ඒ යෝගීහට ප්‍ර‍ථම ධ්‍යානයාගේ ප්‍ර‍තිබිම්බය වූ උපචාර ධ්‍යානය ද ඒ ඇසිල්ලෙහි ම වන්නේ ය. අර්පණායෙහි පටන් සියල්ල පඨවිකසිණයට කී පරිදි මැයි.

 

උද්ධුමාතක අශුභ භාවනා විධිය යි.

 

 

විනීලකාදියෙහි ද “උද්ධුමාතක අසුභ නිමිත්ත උගන්නා යෝගාවචර නො මුළා වැ එළඹ සිටි සිහියෙන් යුක්ත වැ -පෙ- හුදෙකලා වැ යන්නේ ය” යනාදීන් දැක්වුණු සේ “විනීලක අසුභ නිමිත්ත උගන්නා - විපුබ්බක අසුභ නිමිත්ත උගන්නා යෝගාවචර නො මුළැ වැ එළඹ සිටි සිහියෙන් යුක්ත වැ -පෙ- හුදෙකලා වැ යන්නේ යැ” යනාදීන් උද්ධුමාතක පදය වෙනුවට විනීලකාදි පද යොදා යට කී සේ විනිශ්චය සහිත අභිප්‍රාය දත යුතු. එහි විශේෂ මෙසේ ය.

 

2. විනීලකයෙහි - “විනීලක පටික්කුලය, විනීලක පටික්කුලය”යි මෙනෙහි කළ යුතු. එහි උග්ගහ නිමිත්ත කබර කබර වර්‍ණ වැ ද, ප්‍ර‍තිභාග නිමිත්ත රක්ත-නීල-ශේවත-වර්‍ණ කෙරෙන් උත්සද වැ ද වැටහෙන්නේ ය. (පුරාණ සන්නයෙහි උත්සද වශයෙන් නීලවර්‍ණම වඩති යි කීහු.)

 

3. විපුබ්බකයෙහි - “විපුබ්බක පටික්කුලය, විපුබ්බක පටික්කුලය”යි මෙනෙහි කළ යුතු. එහි උග්ගහ නිමිත්ත පූයා වැගිරෙන්නා සේ ද, ප්‍ර‍තිභාග නිමිත්ත නිශ්චල වැ සන්සුන් සේ ද වැටහෙන්නේ ය.

 

4. විච්ඡිද්දකය යුද්ධභූමියෙහි හෝ සොරුන් වසන වනයෙහි හෝ රජදරුවන් සොරුන් සිඳැ ලවන සොහොනෙහි හෝ සිංහ ව්‍යාඝ්‍ර‍යන් විසින් මිනිසුන් කා දමන වනයෙහි හෝ ලැබෙයි. එබඳු තැනකට ගොස් නොයෙක් තැන වැටුණු කුණපය ඉදින් ඒකාවර්‍ජනයෙන් ආපාතයට එන්නේ නම් එසේ ආවර්‍ජනය කළ යුතු. එසේ ආවර්‍ජනයට නො එන්නේ නම් කුණප සියතින් නො අල්ලා ආරාමිකයකු ලවා හෝ සාමණේරයකු ලවා හෝ වෙන කිසිවකු ලවා හෝ එක්තැන් කරවා ගත යුතු යි. සියතින් අල්ලන කල විශ්වාසයට පැමිණෙන්නේ ය. එකබන්දෙක් නො ලැබේ නම් සැරයටියෙන් හෝ අන්කිසි දණ්ඩයකින් හෝ එය එකඟුල් අතර ඇතිවන සේ එක් තැන් කොටැ “විච්ඡිද්දක පටික්කුලය, විච්ඡිද්දක පටික්කුලය” යි මෙනෙහි කළ යුතු. එහි උග්ගහ නිමිත්ත මැදින් කැපුවා සේ ද, පටිභාග නිමිත්ත පරිපූර්‍ණවැ ද වැටහෙන්නේ ය.

 

5. වික්ඛායිතකයෙහි - “වික්ඛායිතක පටික්කුලය, වික්ඛායිතක පටික්කූලය” යි මෙනෙහි කළ යුතු. එහි උග්ගහ නිමිත්ත ඒ ඒ තන්හි කඩා කන ලද්දක් සේ ද පටිභාග නිමිත්ත පරිපූර්‍ණ සේ ද වැටහෙන්නේ ය.

 

6. වික්ඛිත්තකය ද, විච්ඡිද්දකයෙහි කී සේ අඟලක් අතර කරවා ගෙනැ හෝ කැරැ ගෙනැ හෝ “වික්ඛිත්තක පටික්කූලය, වික්ඛායිතක පටික්කූලය”යි මෙනෙහි කළ යුතු. එහි උද්ග්‍ර‍හ නිමිත්ත අතර ප්‍ර‍කට වැ ද, ප්‍ර‍තිභාග නිමිත්ත පරිපූර්‍ණ වැ ද වැටහෙයි.

 

7. හතවික්ඛිත්තකය ද, විච්ඡිද්දකයෙහි කී තන්හි ලැබෙයි. එබැවින් එහි ගොස් යට කී සේ අඟලක් අතර කරවා ගෙනැ හෝ කැරැ ගෙනැ හෝ “හතවික්ඛිත්තක පටික්කූලය, හතවික්ඛිත්තක පටික්කූලය” යි මෙනෙහි කළ යුතු. එහි උද්ග්‍ර‍හ නිමිත්ත ප්‍ර‍හාරමුඛ පැනෙන සේ ද, ප්‍ර‍තිභාග නිමිත්ත පරිපූර්‍ණ වැ ද වැටහෙයි.

 

8. ලෝහිතකය, යුද්ධමණ්ඩලාදියෙහි දී වැදුණු පහරින් අත් පා ආදිය කැපුණු කල්හි ද, ගඩ පොළ ආදිය පැලුණු කල එහි මුඛයෙන් වැගිරෙන කල්හි ද ලැබෙන්නේ ය. එබන්දක් දැකැ “ලෝහිතක පටික්කූලය, ලෝහිතක පටික්කූලය”යි මෙනෙහි කළ යුතු. එහි උද්ග්‍ර‍හ නිමිත්ත වාතයෙන් සැලෙන රක්තවර්‍ණ පතාකාවක් සේ සැලෙන්නාක් වැ ද, ප්‍ර‍තිභාග නිමිත්ත නො සැලෙන්නාක් වැ ද වැටහෙයි.

 

9. පුළවකය, දෙතුන් දිනෙකින් පසු වුණ මුඛ නවයෙන් පණුකැලන් කඩා හැලෙන කල ලැබෙන්නේ ය. වැළිත් එය බලු-කැණහිල්-මිනිස්-ගෙරි-මී-ඇත්-අස්-පිඹුරු ආදීන්ගේ ශරීර තරම් වැ ම හැල්බත් රැසක් සේ ද සිටියි. ඒ කෙබඳු තැනෙක හෝ පුලවක පටිකූලය, පුලවක පටික්ක්කූලය”යි මෙනෙහි කළ යුතු. චුල්ලපිණ්ඩපාතිකතිස්ස තෙරුනට වනාහි කලුදිගා වැවේදී ඇත්කුණපයෙක මේ නිමිත්ත වැටහුණේය. මෙහි උද්ග්‍ර‍හ නිමිත්ත සැලෙන්නාක් වැ ද, ප්‍ර‍තිභාග නිමිත්ත හැලිබත් පිඩක් සේ නොසැලෙන්නාක් වැ ද වැටහෙන්නේ ය.

 

10. අධිකය වනාහි “සො පස්සෙය්‍ය සරීරං සිවථිකාය ජඩ්ඪිතං අට්ඨිසංඛලිකං සමංසලොහිතං නහාරු සම්බන්‍ධ”[239] යනාදීන් නානාප්‍ර‍කාරයෙන් දැක්වුණේ ය. එබැවින් එබන්දක් ඇති තැනකට යට කී සේ ගොස් හාත්පස ගල් ආදි වශයෙන් සනිමිත්ත කොටැ සාරම්මණ කොටැ “මේ අට්ඨිකය”යි ස්වභාව වශයෙන් සලකා වර්‍ණාදි එකොලොස් ආකාරයෙන් නිමිත්ත උගත යුතු. එය වර්‍ණ වශයෙන් සුදු යයි බලත්හොත් නිමිත්ත නො වැටහෙන්නේ ය. යට දැක්වුණු ඕදාත කසිණය හා මිශ්‍ර‍ වන බැවිනි. එසේ හෙයින් “අට්ඨික” ය යි පිළිකුල වශයෙන් ම බැලිය යුතු. ලිඞ්ග යනු මෙහි අත් ආදියට ලැබෙන නමෙකි. එබැවින් අත්, පා, හිස, බඩ, බාහු, කටි,කලවා, කෙණ්ඩ යන මේ වශයෙන් ලිඞ්ග හෙයින් ව්‍යවස්ථා කළ යුතු දිග, කොට, වට, සතරැස්, කුඩා, මහත් වශයෙන් සණ්ඨාන හෙයින් ව්‍යවස්ථා කළ යුතු. දිසා හා ඕකාස යට කී සේ ම ය. ඒ ඒ ඇටවල පර්‍ය්‍යන්ත වශයෙන් පරිච්ඡේද හෙයින් ව්‍යවස්ථා කොටැ ප්‍ර‍කට වැ වැටහෙන්නාක් අරමුණු කොටැ ගෙනැ අර්පණාවට පැමිණිය යුතු ඒ ඒ ඇටවල මිටි තැන් උස් තැන් වශයෙන් නින්න ථල හෙයින් ව්‍යවස්ථා කටයුතු ප්‍රදේශ වශයෙනුදු “මම වළ තැන ය, ඇට ගොඩ තැන ය, මම හෝ ගොඩ තැන ය, ඇට වළ තැන ය”යි ව්‍යවස්ථා කටයුතු. දෙ ඇට දෙ ඇට ගැලපුණු තැන් වශයෙන් සන්‍ධි හෙයින් ව්‍යවස්ථා කටයුතු. ඇට අතර වශයෙන් විවිර අවිවර හෙයින් ව්‍යවස්ථා කටයුතු සියලු ඇටසැකිල්ලෙහි හෝ ඇටයෙහි හෝ නුවණ මෙහෙයා “මෙ තැන මේ ඇට ය”යි හාත්පසින් ව්‍යවස්ථා කටයුතු. මෙසේත් නො වැටහේ නම් නළල් ඇටයෙහි සිත යෙදිය යුතු යි.

 

මේ ඇට අට්ඨිකයෙහි සේම සෙසු පුලවකාදිහි ද එකොලොස් ආකාරයෙන් නිමිති ගැන්ම යෙදෙන යෙදෙන පරිද්දෙන් සැලකිය යුතු.

 

මේ කර්‍මස්ථාන ඇටසැකිල්ලෙක සේ ම ඒ ඇටයෙක ද ලැබෙයි. ඒ කවරෙක හෝ එකොලොස් ආකාරයෙන් නිමිති උගෙන “අඨික පටික්කූලය, අඨික පටික්කූලය”යි මෙනෙහි කළ යුතු. මෙහි උද්ග්‍ර‍හ නිමිත්ත හා ප්‍ර‍තිභාග නිමිත්ත හා එක් සමානය යි අටුවායෙහි කියා තිබේ. ඒ කීම එක ඇටයෙක නම් සුදුසු ය, ඇට සැකිල්ලෙහි උද්ග්‍ර‍හ නිමිත්ත පෙර පෙනෙන විවර ඇති වැද, ප්‍ර‍තිභාග නිමිත්ත පරිපූර්‍ණවැද විය යුතු. එක ඇටයෙක වුව ද උද්ග්‍ර‍හ නිමිත්ත භයජනක විය යුතු. ප්‍ර‍තිභාග නිමිත්ත සෞමනස්‍යජනක විය යුතු. භාවනා විශේෂයෙන් මටසිලුටු වැ වැටහී උපචාර ධ්‍යානය එළවන බැවිනි.

 

මෙහි ලා අටුවායෙහි කියන ලද්ද මතභේදයට අවකාශ තබා කියන ලද බැව් පෙනේ. ඒ එසේ මැ යි:- අටුවායෙහි සතර බ්‍ර‍හ්මවිහාරයන්හි ද දශ අශුභයන්හි ද ප්‍ර‍තිභාග නිමිති නැතැ යි ද, බ්‍ර‍හ්මවිහාරයන්හි සීමාසමේභදය ම නිමිත්තය යි දශ අසුභයන්හි විකල්ප රහිත කොටැ ප්‍ර‍තිකූලත්‍වය දුටු කල්හි නිමිත්ත නම් වන්නේ ය යි ද දක්වා ‘ඊට අනතුරුවැ ම උග්ගහ නිමිත්තය, ප්‍ර‍තිභාග නිමිත්තය යි නිමිත්ත ද්විවිධ වේ. ඉන් “උද්ග්‍ර‍හ නිමිත්ත භයජනක වැ වැටහේය”යි දක්වන ලද්දේ ය. එ බැවින් අප විසින් විචාරණය කොටැ යට කියන ලද ක්‍ර‍මය සුදුසුය යි දත යුතු. තවද මහාතිස්ස තෙරුනට දත් ඇට දැකීම් පමණෙකින් මුළු ස්ත්‍රී ශරීරය ඇට සැකිල්ලක් සේ වැටහීම ද මෙහි නිදර්‍ශනයට ගත යුතු.

 

“ඉති අසුභාති සුභ ගුණො - දස්සනලොචනෙන ථුතකිත්ති,

යානි අවොච දසබලො - එකෙකජඣානහෙතූති

එවං තානි ච තෙසං ච - භාවනානයමිදං වීදිත්‍වාන

තෙසචේව අයං භිය්‍යො - පකිණ්ණක කථාව විඤ්ඤෙය්‍යා”

 

‘සුනාශීර විසින් සංස්තුත වූ කීර්‍තති ඇති විශුද්ධ ගුණ යුත් දශබලධාරීන් වහන්සේ එකී එකී ධ්‍යානයට හේතු වූ යම් අශුභ කෙනෙක් වදාළ සේක් ද, ඒ දශ අශුභ ද ඔවුන් පිළිබඳ භාවනා ක්‍ර‍ම ද යට කී පරිද්දෙන් දැනැ ඔවුන්ගේ ප්‍ර‍කීර්‍ණක කථාව මතු කියන පරිද්දෙන් දත යුතු.’

 

අශුභ ප්‍ර‍කිර්‍ණක කථා

 

අශුභ අතුරෙන් කවරක් හෝ අරමුණු කොටැ ධ්‍යාන ලැබැගත් යෝගී චීතරාගයකු සේ නිල්ලෝලුප්පචාරී වන්නේ ය. හෙවත් අලෝලභාවයෙන් හැසිරෙන්නේ ය.

 

එසේ නම් එය දශවිධ කොටැ කුමක් හෙයින් වදාළේ ද එසේ වදාළේ ශරීරය උද්ධුමාතකාදි ඒ ඒ ස්වභාවයට පත්වීම් වශයෙන් හා රාගචරිත පුද්ගලයන්ගේ විභාග වශයෙනි.

 

ඒ එසේ මැ යි:- මළසිරුර පිළිකුල් බවට පැමිණෙන්නේ උද්ධුමාතක භාවයට හෝ විනීලකාදීන් අතුරෙන් එක්තරා අවස්ථාවකට හෝ පත්වන්නේ ය. එයින් යම් යම් ආකාර අසුභයක් ලද හැකි නම් ඒ ඒ අශුභයෙහි “උද්ධුමාතක පටික්කූලය, විනීලක පටික්කූලය” යනාදීන් නිමිති ගත යුතුම ය. ශරීරය ඒ ඒ ස්වභාවයට පත්වීම වශයෙන් දශවිධ කොටැ වදාළේ ය යි කීයේ එහෙයිනි.

 

රාගචරිත පුද්ගලයන්ගේ විභාග වශයෙන් දශවිධ කොට වදාළේ ය යන්නෙහි අර්‍ථ මෙසේ දත යුතුයි.

 

උද්ධුමාතකය විශේෂයෙන් සරීරසණ්ඨානයාගේ විපත්තිය ප්‍ර‍කාශ කරන්නේ ය. එබැවින් එය සණ්ඨානරාගීන්හට සප්පාය වේ.

 

විනීලකය ඡවි වර්‍ණයාගේ විපත්තිය ප්‍ර‍කාශ කරන බැවින් ශරීර වර්‍ණයෙහි රාග ඇත්තවුනට සප්පාය වේ.

 

විපුබ්බකය ශරීරය පිළිබඳ දුර්‍ගගන්‍ධය ප්‍ර‍කාශ කරන බැවින් මල් සුවඳ ආදිය ගැනීම් වශයෙන් නැගුණු ශරීර ගන්‍ධරාගීන්හට සප්පාය වේ.

 

විච්ඡිද්දකය ඇතුළෙහි සිදුරු ඇති බව ප්‍ර‍කාශ කරන බැවින් ශරීරයෙහි අඞ්ග ප්‍ර‍ත්‍යඞ්ග පිළිබඳ ඝන භාවය පිණිස උපදනා රාග ඇත්තවුනට සප්පාය වේ.

 

වික්ඛායිතකය මස් වැඩි තන්හි සැපත විනාශ වන සැටි ප්‍ර‍කාශ කරන බැවින් තන කලවා ආදි ශරීර ප්‍රදේශයෙහි මස් වැඩීම නිසා උපදනා රාග ඇත්තවුනට සප්පාය වේ.

 

වික්ඛිත්තකය අඞ්ග ප්‍ර‍ත්‍යාඞ්ගයන්ගේ ඒ ඒ තැන වැටීම් වශයෙන් වික්‍ෂේපය ප්‍ර‍කාශ කරන බැවින් අඞ්ගප්‍ර‍ත්‍යඞ්ග පිළිබඳ ලීලාරාගීන්හට සප්පාය වේ.

 

හතවික්ඛිත්තකය ශරීරසඞ්ඝාතයාගේ භේදය ප්‍ර‍කාශ කරන බැවින් ශරීර සංඝාත සම්පත්තිරාගීන්හට සප්පාය වේ. (ශරීර සංඝාන නම් අවයව එක් වැ බැඳී තිබෙන ශරීරය යි.)

 

ලෝහිතකය ලෙයින් වැකීමෙන් පිළිකුල් බව ප්‍ර‍කාශ කරන බැවින් අලඞ්කාරයෙන් ජනිත ශෝභායෙහි රාග ඇත්තවුනට සප්පාය වේ.

 

පුලවකය ශරීරය නොයෙක් කිමිකැලට සාධාරණ බව ප්‍ර‍කාශ කරන බැවින් ශරීරය මමත්‍වයෙන් ඇලුම් කරන්නවුනට සප්පාය වේ.

 

අට්ඨිකය ශරීරයේ ඇට පිළිබඳ පිළිකුල ප්‍ර‍කාශ කරන බැවින් අන්තසම්පත්තයෙහි රාග ඇත්තවුනට සප්පාය වේ.

 

මෙසේ රාගචරිත පුද්ගලයන්ගේ භේද වශයෙන් අශුභය. දශවිධ කොටැ වදාරන ලදැ යි දත යුතුයි.

 

අශුභ කර්‍මස්ථානයෙන් ප්‍ර‍ථමධ්‍යානය පමණක් ලැබැ ගත හැකි ය.

 

දශවිධ වූ ම අශුභාරම්මණය පිළිකුල් ය. පිළිකුල් බැවින් ම එහි සිත පිහිටුවා ගැන්ම දුෂ්කරය. සිත පිහිටුවා ගනුත් හොත් හැක්කේ විතර්‍ක බලයෙන් මැ ය. විතර්‍කය නැත්නම් සිත එහි නො පිහිටයි. නො සිටින දිය ඇති සැඬවතුරු ඇති ගඟෙහි නැව සිටුවාගත හැක්කේ රිටි බලයෙන් ය. රිටි නැතහොත් නැව එහි නො රඳයි. මෙ ද එබැවින් දශවිධ අශුභය ම අරමුණු කොටැ භාවනා කිරීමෙන් ලද හැක්කේ ප්‍ර‍ථම ධ්‍යානය පමණි. විතර්‍ක නැති බැවින් ද්විතීය ධ්‍යානාදිය නො ලද හැකි ය.

 

ප්‍ර‍ථම ධ්‍යානයෙහි ප්‍රීතිය ඇත්තේ ය. පිළිකුල් වූ අශුභය

අරමුණු කොටැ සප්‍රීතික ප්‍ර‍ථමධ්‍යානය කෙසේ ලැබිය හැකි ද

 

පිළිකුල් වූ ද ඒ අරමුණු කොටැ “ඒකාන්තයෙන් මම මේ ප්‍ර‍තිපදායෙන් ජරාමරණයෙන් මිදී ගන්නෙමි”යි ආනිසංස දක්නා බැවින් ද, නීවරණ සන්තාප ප්‍ර‍හාණ වන බැවින් ද ප්‍රීති සොම්නස් උපදනේ ය. “මම මෙයින් දැන් බොහෝ වැටුප් ලබමි”යි සිතන පුස්සඩුවාට අසූචි රැස් අරමුණු කොට ප්‍රීතිසොම්නස් උපදින්නාක් මෙන් ද, උපශාන්ත වූ ව්‍යාධි දුක් ඇති රෝගියාහට වමන විරේචන ප්‍ර‍වෘත්තියෙහි ප්‍රීති සොම්නස් උපදින්නාක් මෙන් දැ යි දත යුතු.

 

අශුභ ලක්‍ෂණ

 

දශවිධ වූ ද මේ අශුභය ලක්‍ෂණ වශයෙන් එකෙක් ම ය. දශවිධ වූ ද මේ අශුභයාගේ ලක්‍ෂණ අපිරිසිදු බව යි. දුර්‍ගන්‍ධ බව යි. නින්‍දිත බව යි. පිළිකුල් බව යි. ඒ වානිහ මළ සිරුහි මතු වැටහෙන්නේ නො වේ. ස්ත්‍රියකග් දත් ඇ දැක්මෙන් සෑගිරි වැසි මහාතිස්ස තෙරුන්ට මෙන් ද, ඇතුපිට නැගී ගමන් ගත් රජු දැක්මෙන් සංඝරක්‍ෂිත ස්ථවිරයනට උපස්ථාන කළ සාමණේරයන්ට මෙන් ද, ජීවමානක ශරීරයෙහි ද වැටහෙන්නේ ය. මළ සිරුර සේ ජීවමාන ශරීරය ද අශුභ ය. ජීවමාන ශරීරයෙහි අශුභ ලක්‍ෂණ ආගන්තුක අලඞ්කාරයෙන් වැසී යන බැවින් නො පෙනේ. නිසර්‍ගයෙන් ම මේ ශරීරය දත් ඇට අධික කොටැ ඇති තුන්සීයක් ඇටින් නැඟුණේ ය. එක් සිය අසූවක් සන්‍ධියෙන් ගැළපුණේ ය. නවසියක් නහරින් වෙළුණේ ය. නවසියක් මස් වැදලින් ඇළවුණේ ය. තෙත් මිනිස් සමින් වැළඳුණේ ය. සිවියෙකින් වැසුණේ ය. කුඩා මහත් සිදුරු ඇත්තේ ය. මේද තෙල් පිරුණු සැළියක් මෙන් උඩින් යටින් දිලියෙන්නේ ය. පණු කැලන් විසින් සෙවුණේ ය රෝගයනට ස්ථාන ය. දුඃඛ ධර්‍මයන වස්තු ය. පැලී ගිය පරණ ගෙඩියක් මෙන් නව වූණද්වාරයෙන් නිතර කුණු වැගිරෙන්නේ ය. දෙ ඇසින් කබ ගලයි. දෙකන් බිලින් කන්කැඳුරු වැටෙයි. දෙ නාස් පුටයෙන් සොටු වැගිරෙයි. මුඛයෙන් ආහාර හා පිත හා සෙම හා ලෙහෙ හා නැගෙයි. අධො මාර්‍ග දෙකෙන් මළ-මුත්‍ර‍ වැගිරෙයි. නවානු දහසක් රොම් කූපයෙන් අපවිත්‍ර‍ ඩහදිය ගලයි. නිලමැසි ආදීහු පිරිවරා ගනිති. දැහැටි නො කා මුව නො දොවා හිස තෙල් නො ගා නො නා හැඳුමක් පෙරවුමක් නැති වැ නග්න ස්වභාවයෙන් නො පීරු අවුල් වූ කෙසින් යුක්ත වැ ගමින් ගමට ඇවිදින රජුගේ ද, පුස්සඬු සැඩාල් ආදීන් අතුරෙන් කිසිවකුගේ ද කිසි වෙනසක් නැත්තේ ය. අපිරිසිදු බැවින් දුගඳ බැවින් නින්‍දිත බැවින් පිළිකුල් බැවින් රජෙකුගේ ද, සැඩොලෙකුගේ ද වෙනසක් නැති. දැහැටි වළදා මුව සෝධා නන්වන් පීළියෙන් විළි තැන් වසා නන්වන් සුවඳ විලවුන් ගල්වා කුසුමාභරණාදියෙන් සැරසී “මම ය මාගේ ය” යි ගත යුතු ආකාරයට පත් කැරැ ගනිති. ආගන්තුක අලඞ්කාරයෙන් පිළිසන් වැ යන බැවින් මේ ශරීරය පිළිබඳ යථා ස්වභාව-අශුභ ලක්‍ෂණය නො දත් පුරුෂයෝ ස්ත්‍රීන් කෙරෙහි ද ස්ත්‍රීහු පුරුෂයන් කෙරෙහි ද ප්‍රේම කරති. පරමාර්‍ථ වශයෙන් බලත් හොත් මෙහි ඇළුම් කටයුතු ස්වල්ප මාත්‍ර‍ වූ ද තැනෙක් නැති.

 

ඒ එසේ මැ යි:- කෙස්-ලොම්-නිය-දත්-කෙළ-සොටු මළ මූ ආදීන් අතුරෙන් ශරීරයෙන් බැහැරට වැටුණු කිසිවකුත් කිසි කෙනෙක් අතින් පවාස්පර්‍ශ කරන්නට කැමැති නොවෙති. එබන්දක් දැකැ පෙළෙති. ලජ්ජා වෙති. පිළිකුල් කරත් බැහැරට නො වැටී ශරීරයෙහි සේස වූ දේත් වැටුණු දේ සේ මැ පිළිකුල් වුව ද මෝහාන්‍ධකාරයෙන් වැසුණු ආත්ම ස්නෙහ රාගයෙන් රත්වූවෝ ඉෂ්ට ය, කාතනය, නිත්‍යය, සුඛය යි ගනිති. එසේ ගන්නා හා ඔව්හු කැලේ පිපි කෑල රුක දැකැ ‘එහි ගිලිහී නො වැටුණු මල් මේ එල්ලෙන්නේ මස් කැබලිය”යි වෙහෙසට පවත්වන ජර නරි සමාන බවට පත්වෙති.

 

ජර සිවලා කැලේ - මල් පිපි කෑල රුක දැකැ

මම මස් ගසක් ලදිමි’යි - සතුටින් ලොබින් දිවැ ගොස්

වැටුණු වැටුණු මල - ඩැ ඩැ ‘මෙය මස නොවේ තෙලෙ

ගස ලෙලෙන්නේ මස ය’යි - සිතමින් එහි ම ලගනේ

නැණවත් දන එසේ - සිරුරින් වැටුණු කොටස ම

අසුබැ යි නො ගෙනැ රඳනා - දෙය ද අසුබැ යි ගන්නේ

නුනුවණ දන ලොවෙහි - මේ සිරුර සුබ විසින් ගෙනැ

කෙරෙමින් නොයෙක් අකුසල් - සසර දුකින් නො මිදෙනේ

එ බැවින් නැණවතුනි! - මළ මිනිය හා දිවමන්

මෙ කුණු සිරුර පවතින පිළිකුල් බව ම සලකවු.

කීයේ මැ යි:-

 

“දුග්ගන්‍ධො අසූචි කායො - කුණපො උක්කරූපමො

නින්‍දිතො චක්ඛුභූතෙහි - කායො බාලාභිනන්‍දිතො

 

අල්ලචම්මපටිච්ඡන්තො - නවද්‍වාරො මහාවණො

සමන්තතො පග්ඝරති - අසූචි පූතිගන්‍ධියො

 

සචෙ ඉමස්ස කායස්ස - අන්තො බාහිරතො සියා

දණ්ඩං නූණ ගහෙත්‍ථාන - කාකෙ සොණෙ ව වාරයෙ.”

 

‘මේ කය දුර්‍ගන්‍ධය, අපවිත්‍ර‍ය, කුණුය, කසළ ගොඩක් හෝ වර්චස්කූපයක් බඳු ය. නුවණැතියන් විසින් නින්‍දිතය, මූඪයන් විසින් අභිනන්‍දිත යි.’

 

‘මේ කය තෙත් සමකින් පිළිසන් ය. නව දොරක් ඇත්තේ ය. මහාව්‍ර‍ණයකි. කුණු ගඳ ඇති අසූචි හාත්පසින් වැගිරෙයි.’

 

‘මේ කයෙහි ඇතුළු පැත්ත ඉදින් පිට පැත්තට හැරුණේ නම් ඒකාන්තයෙන් දඬුමුගුරු ගෙන කවුඩන් බල්ලන් එළවන්නට සිදුවන්නේ ය.’

 

එබැවින් පණ්ඩිත යෝගාවචර විසින් දිවමන් සිරුර වේවා මළ සිරුර වේවා අශුභ ලක්‍ෂණය පෙණෙන කො තැන හෝ නිමිති ගෙනැ කර්‍මස්ථානය අර්පණාවට පමුණුවා ගත යුතුයි.

 

සජ්ජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධිමාර්‍ගයෙහි

සමාධිභාවනාධිකාරයට ඇතුළත්

සවැනි අශුභ කර්‍මස්ථාන නිර්‍දෙශය යි.

 


7 වන පරිච්ඡේදය

“ඡ අනුස්සති නිර්දේශය

 

නමො භගවතො සම්බුද්ධස්ස

 

දශ අශුභයනට අනතුරු වැ දශ අනුස්මෘති දක්වනු ලැබේ. අනුස්මෘති නම් නැවත නැවත සිහි කිරීම ය. ස්මෘතිය ම නැවත නැවත උපදනා බැවින් අනුස්මෘතිය යි කී සේ ය. තවද අනුරූප වූ යෝග්‍ය වූ ස්මෘතිය හෝ අනුස්මෘතිය පැවතිය යුතු තන්හිම පවත්නා බැවින් සැදැහැයෙන් සසුන් වන් කුලදරුවා හට යෝග්‍ය වූ ස්මෘතිය ස්මෘතියයි කී සේයි.

 

ඒ දස වැදෑරුම් ය.

 

1. බුදුන් අරබයා උපන් අනුස්මෘතිය බුද්ධානුස්මෘතිය යි. එනම් බුද්ධ ගුණ අරමුණු කොට ඇති සිහිය යි.

 

2. ධර්‍මය අරබයා උපන් අනුස්මෘතිය ධර්‍මානුස්මෘතිය යි. එනම් “ස්වාක්ඛාතො භගවතො ධම්මො” යනාදීන් ධර්‍ම ගුණ අරමුණු කොටැ ඇති සිහිය යි.

 

3. සංඝයා අරබයා උපන් අනුස්මෘතිය සංඝානුස්මෘතිය යි. එනම් “සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝො” යනාදීන් සංඝ ගුණ අරමුණු කොටැ ඇති සිහිය යි.

 

4. ශීලය අරබයා උපන් අනුස්මෘතිය ශීලානුස්මෘතිය යි. එනම් තමන්ගේ අඛණ්ඩ - අච්ඡිතාදි ශීල ගුණ අරමුණු කොටැ ඇති සිහිය යි.

 

5. ත්‍යාගය අරබයා උපන් අනුස්මෘතිය ත්‍යාගානුස්මෘතිය යි. තමන්ගේ “මුත්තචාගො - පයතපාණි” යනාදි ත්‍යාග ගුණ අරමුණු කොටැ ඇති සිහිය යි.

 

6. දෙවියන් අරබයා උපන් අනුස්මෘතිය දේවතානුස්මෘතිය යි. එනම් දෙවියන් ශාක්‍ෂ්‍ය කොටැ තමා තමන්ගේ ශ්‍ර‍ද්ධාදි ගුණ අරමුණු කොටැ ඇති සිහිය යි.

 

7. මරණය අරබයා උපන් ස්මෘතිය මරණානුස්මෘතිය යි. එනම් ජීවිතින්‍ද්‍රියෝපච්ඡෙදය අරමුණු කොටැ ඇති සිහිය යි.

 

8. කේසාදි භේද ඇති රූපකාය කරා හෝ රූපකායයෙහි හෝ ගිය ස්මෘතිය කායගතා සතිය යි. “කායගත සති” ය යි කිය යුතු තන්හි භ්‍ර‍ස්ව නො වැ කායගතා සතිය යි කියන ලදි. ඒ නම් කේසාදි කාය කොට්ඨාස නිමිති (අරමුණු) කොටැ ඇති සිහිය යි.

 

ආශ්වාස-ප්‍ර‍ශ්වාස ආණාපාණ නමි. ඒ ආණාපාණ අරබයා උපන් ස්මෘතිය ආණපාණ ස්මෘතිය යි. එනම් හුස්ම ඉහළට ගැනීම් පහළට හෙළීම් අරමුණු කොටැ ඇති සිහිය යි.

 

10. නිර්‍වාණය උපසම නම. ඒ නිර්‍වාණ සංඛ්‍යාත උපසමය අරබයා උපන් අනුස්මෘතිය උපසමානුස්මෘතිය යි. එනම් සර්‍ව දුඃඛෝපසමය අරමුණු කොටැ ඇති සිහිය යි.

 

මේ දශවිධ අනුස්මෘති අතුරෙන් බුද්ධානුස්මෘතිය භාවනා කරනු කැමති අචලප්‍ර‍සාදයෙන් යුත් යොගී විසින් යට දැක්වුණු සේ සුදුසු සෙනසුනෙක විසුම් ගෙනැ රහසිගත වැ විවේක වැ “ඉති පි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාදරණ සම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්‍ථා දෙවමනුස්සානංං බුද්ධො භගවා”[240] යි භගවත් බුදුරජාණන්ගේ ගුණ සිහිකළ යුතු යි. එහි ක්‍ර‍මය මෙසේ ය.

 

බුද්ධානුස්මෘති භාවනා විධිය

 

සො භගවා ඉතිපි අරහං ඉතිපි සම්මාසම්බුද්ධො, ඉතිපි විජ්ජාචරණසම්පන්නො, ඉතිපි සුගතො, ඉතිපි ලොකවිදු, ඉතිපි අනුත්තරො පුරිසදම්මසාරථි, ඉතිපි සත්‍ථා දෙවමනුස්සානං, ඉතිපි බුද්ධා, ඉතිපි භගවා, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන් අර්‍හත් වන සේක. මේ මේ කාරණයෙන් සම්‍යක් සම්බුද්ධ වන සේක. මේ මේ කාරණයෙන් විද්‍යාචරණසම්පන්න වන සේක. මේ මේ කාරණයෙන් සුගත වන සේක. මේ මේ කාරණයෙන් ලෝකවිදු වන සේක. මේ මේ කාරණයෙන් දෙව්මිනිසුන්ට ශාස්තෘ වන සේක. මේ මේ කාරණයෙන් බුද්ධ වන සේක. මේ මේ කාරණයෙන් භගවත් වනසේකැ යි’ සිහිකළ යුතු. 

 

අරහං

 

ඒ භාග්‍යවතුන් වහන්සේ කවර-කවර කාරණයෙකින් අර්‍හත් වන සේක් ද, 1. ක්ලේශයන් කෙරෙන් ආරක වැ-දුරු වැ සිටිනා බැවින් ක්ලේශ අරි-සතුරන් නොහොත් පුඤ්ඤාභිසංඛරාදි අර -දැවි හත-නැසූ බැවින් 3. ප්‍ර‍ත්‍යයාදියට අහී - සුදුසු බැවින් 4. පව් කිරීම පිළිබඳ රහ-රහස් නැති බැවින් යන මේ මේ කාරණයෙන් උන්වහන්සේ අරහ-අර්‍හත් වන සේක.

 

ඒ එසේ මැ යි:-

 

1. උන්වහන්සේ සකල ක්ලේශයන් කෙරෙන් ආරක ය. (ඉතා දුරස්ථය) අර්‍හත්මාර්‍ගඥානයෙන් ස්වාසනා සකල ක්ලේශ විධවංශනය කළ බැවිනි. එහෙයින් උන්වහන්සේ අරහ අර්‍හත් ය. මේ අර්‍ථය ම ගාථායෙනු දු දක්වයි.

 

“සො තතො ආරකා -නාම - යස්ස යෙනාසමඞ්හිතා

අසමඞ්ගී ච දොසෙහි - නාථො තෙනාරහං මතො” යි.

 

‘යමක්හුගේ යමක්හු හා අසමඞ්ගිත්‍වය වේ ද, එහෙයින් හෙතෙමේ ආරකා නම. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් හා අසමඞ්ගී ය. එහෙයින් උන්වහන්සේ අර්‍හත් යයි දක්නා ලදි, යනු අර්‍ථ යි. (“ආරකා යන මෙහි ආකාරයට භස්ව ද කකාරයට හකාර ය ද, අනුස්වාර ද කොටැ නිරුක්ති නයයෙන් “අරහං” යි පදසිද්ධි දත යුතු යනු සන්න යි.)

 

2. උන්වහන්සේ විසින් ඒ ක්ලේශ අරීහු (කෙලෙස් සතුරෝ) මාර්‍ගඥානයෙන් නසා පියන ලදහ. එහෙයින් අරහං (අර්‍හත්) ය. මේ අර්‍ථය ම ගාථායෙනුදු දක්වයි.

 

“යස්මා රාගාදිසංඛාතා - සබ්බෙ’පි අරයො හතා

පඤ්ඤාසත්‍ථෙන නාථෙන - තස්මා පි අරහං මතො”යි.

 

‘යම් හෙයකින් නාථයන් වහන්සේ විසින් ප්‍ර‍ඥා නමැති ශස්ත්‍රයෙන්, රාගාදි සංඛ්‍යාත සියලු අරීහු නසන ලද්දේ ද එහෙයින් ද උන්වහන්සේ අරහං (අර්‍හත්) ය, යනු අර්‍ථ යි. (අරිහත යනු නිරුක්ති නයයෙන් අරහං යි විණි.)

 

තවද සංසාරය රථ චක්‍ර‍යක් වැන්න. අවිද්‍යාව හා භව තෘෂ්ණාව එහි නාභිය. පුඤ්ඤාදි අභිසංඛාර අර හෙවත් දැවිය ජරාමරණ නිම්වලල්ලය. ආශ්‍ර‍ව සමුදය නමැති අකුරින් විද්‍ය ත්‍රිභව නමැති රථයෙහි යොදන ලදුව අනාදිමත් කාලයක් මුළුල්ලෙහි පවත්නේ ය. තථාගතයන් විසින් ඒ සංසාර නමැති චක්‍ර‍යාගේ පුඤ්ඤාභි සංඛරාදි නමැති අර බෝ මැඩ දී වීර්‍ය්‍ය නමැති පාදයෙන් ශීල නමැති පෘථිවියෙහි පිහිටා ශ්‍ර‍ද්ධා නමැති අතින් කර්‍මක්‍ෂයකරඥාන නමැති පොරොව ගෙනැ කපා පියන ලද්දේ ය. එසේ හෙයින් (අර හත බැවින්) උන්වහන්සේ අරහං (අර්‍හත්) ය. අර හත යන තන්හි නිරුක්ති නයයෙන් අරහං විය.

 

තවද සංසාර චක්‍ර‍ය යනු නො පෙණෙන අක් - මුල් ඇති සංසාරවෘත්තය යි. ඒ සංසාර චක්‍ර‍යාගේ මුල බැවින් අවිද්‍යාව නාභියය. අවශානය බැවින් ජරාමරණ නිම්වලල්ලය. සංඛාර, විඤ්ඤාණ, නාම-රූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති යන සෙසු දශධර්‍මයෝ අර ය; අවිද්‍යාව මුල් කොටැ ඇති බැවින් හා ජරා - මරණ අවසාන කොටැ ඇති බැවින් ය.

 

(මෙසේ සංසාර චක්‍ර‍යාගේ අවිද්‍යාව මුල බව ද, ජරා - මරණ අවශානය බව ද, සංඛාරාදි දශය මැද බව ද දක්වා භවත්‍ර‍යයෙහි එකිනෙක එකිනෙකට පිළිවෙළින් ප්‍ර‍ත්‍යය වන සැටි සැකෙවින් දක්වයි.)

 

දුඃඛාදි චතුස්සත්‍යයෙහි නො දැන්ම හෙවත් මෝහය අවිද්‍යා නම. කාමභවයෙහි අවිද්‍යාව කාමභවයෙහි සංස්කාරයන්ට ද, රූපභවයෙහි අවිද්‍යාව රූපභවයෙහි සංස්කාරයන්ට ද, අරූපභවයෙහි අවිද්‍යාව අරූපභවයෙහි සංස්කාරයන්ට ද ප්‍ර‍ත්‍යය වන්නේ ය.

 

(කාමාවචර-රූපාවචර-අරූපාවචර කුශලාකුශල චේතනා සංස්කාර නම) කාමභවයෙහි සංස්කාර කාමභවයෙහි ප්‍ර‍තිසන්‍ධි විඥානයට ද, රූපභවයෙහි සංස්කාර රූපභවයෙහි ප්‍ර‍තිසන්‍ධි විඥානයට ද, අරූපභවයෙහි සංස්කාර අරූපභවයෙහි ප්‍ර‍තිසන්‍ධි විඥානයට ද ප්‍ර‍ත්‍යය වන්නේ ය.

 

කාමභවයෙහි ප්‍ර‍තිසන්‍ධි විඥානය කාමභවයෙහි නාම - රූපයන්ට ද, රූපභවයෙහි ප්‍ර‍තිසන්‍ධි විඥානය රූපභවයෙහි නාම-රූපයන්ට ද, අරූපභවයෙහි ප්‍ර‍තිසන්‍ධි විඥානය අරූපභවයෙහි නාමයන්ට ද, (එහි රූප නැති බැවිනි) ප්‍ර‍ත්‍යය වන්නේ ය.

 

කාමභවයෙහි නාම - රූප කාමභවයෙහි ෂඩායතනයන්ට ද, රූපභවයෙහි නාම-රූප රූපභවයෙහි චක්ඛු, සොත, මන යන ආයතනත්‍ර‍යට ද, (එහි ඝාණ, ජිව්හා, කාය, ආයතන නැති බැවිනි) අරූපභවයෙහි නාමය අරූපභවයෙහි එකම මනායතනයට ද ප්‍ර‍ත්‍යය වන්නේ ය.

 

කාමභවයෙහි ෂඩායතනය කාමභවයෙහි චක්ඛුසම්ඵස්සාදි ෂඩ්විධ ස්පර්‍ශයට ද, රූප භවයෙහි චක්ඛු, සෝත, මන යන ආයතනත්‍ර‍ය රූපභවයෙහි චක්ඛුසම්ඵස්ස, සොතසම්ඵස්ස, මනොසම්ඵස්ස යන ස්පර්‍ශත්‍ර‍යට ද, අරූපභවයෙහි මනායතනය අරූපභවයෙහි එක ම මනොසම්ඵස්සයට ද ප්‍ර‍ත්‍යය වන්නේ ය.

 

කාමභවයෙහි ෂඩ්විධ ස්පර්‍ශ එහි චක්ඛුසම්ඵස්සජ වේදනා ආදි ෂඩ්විධ වේදනාවට ද, රූපභවයෙහි ත්‍රිවිධ ස්පර්‍ශ එහි ත්‍රිවිධ වේදනාවට ද, අරූපභවයෙහි එකම මනෝසම්ඵස්සය එහි මනෝසම්ඵස්සවේදනාවට ද ප්‍ර‍ත්‍යය වන්නේ ය.

 

කාමභවයෙහි ෂඩ්විධ වේදනාව එහි රූපතණ්හාදි ෂඩ්විධ තෘෂ්ණාවට ද, රූප භවයෙහි ත්‍රිවිධ වේදනාව එහි ත්‍රිවිධ තෘෂ්ණාවට ද, අරූපභවයෙහි එකම මනොසම්ඵස්සජ වේදනාව එහි ධම්මතණ්හාවට ද ප්‍ර‍ත්‍යය වන්නේ ය.

 

ඒ ඒ භවයෙහි ඒ ඒ තෘෂ්ණාව උපාදානයට ද, උපාදානය භවයට ද, භවය ජාතියට ද, ජාතිය ජරා-මරණාදියට ද මෙසේ ම ප්‍ර‍ත්‍යය වන්නේ යි.

 

එහි විස්තරය මෙසේ ය.

 

ඇතැම් පුද්ගලයෙක් “කාමසැප වළඳන්නෙමි”යි කාමූපදාන හේතුයෙන් කයින් වචනයෙන් සිතින් පව්කොටැ අපායයෙහි උපදියි. ඔහුට ඒ උපැද්මට හේතු වූ කර්‍මය කර්‍මභවය යි. කර්‍මයෙන් උපන් ස්කන්‍ධ උත්පත්ති භවය යි. ඒ ස්කන්‍ධයන්ගේ පහළවීම ජාතිය යි. ඔවුන්ගේ මේරීම ජරාව යි. ඔවුන් බිඳී යාම මරණය යි.

 

තව ද අනෙකෙක් ‘ස්වර්‍ග සැප විඳින්නෙමි’ යි එසේ ම කුසල් කොටැ එයින් ස්වර්‍ගයෙහි උපදියි. ඒ උපැදීමට හේතු වූ කර්‍මය කර්‍ම භවය යි. කර්‍මයෙන් උපන් ස්කන්‍ධ උත්පත්ති-භවය යි. ඒ ස්කන්‍ධයන්ගේ පහළවීම ජාතිය යි. මේරීම ජරාව යි. බිඳී යාම මරණය යි.

 

තවද කිසිවෙක් ‘බ්‍ර‍හ්ම සම්පත් විඳින්නෙමැ යි” කාමුපාදාන හේතුයෙන් ම මෛත්‍රී හෝ කරුණා හෝ මුදිතා හෝ උපේක්‍ෂා හෝ වඩා ඒ භාවනා පාරිපූරියෙන් බඹලොව උපදියි. ඒ උපැද්මට හේතු වූ කර්‍මය කර්‍මභවය යි. සෙස්සට යට කී සේ ය.

 

තවද කිසිවෙක් “අරූපභවයෙහි සම්පත් විඳින්නෙමි”යි ආකාසාන-ඤ්චායතනාදි සමාපත්ති වඩා එයින් එහි උපදියි. ඒ උපැද්මට හේතු වූ කර්‍මය කර්‍මභවය යි. කර්‍මයෙන් උපන් ස්කන්‍ධ උප්පත්තිභවය යි. ස්කන්‍ධයන්ගේ පහළවීම ජාතිය යි. මේරීම ජරාව යි. බිඳීයාම මරණ යයි.

 

දිට්ඨුපාදානාදි සෙසු උපාදානමූලකත්‍වයෙහි ද යෙදෙන පරිදි මෙසේ ම දත යුතු.

 

අවිද්‍යාව හේතු ය, සංස්කාර හේතුසමුත්පන්න ය, මේ අවිද්‍යාසංස්කාර යන දෙක ම හේතුසමුත්පන්නය යි මෙසේ ප්‍ර‍ත්‍යය පිරිසිඳැ දැන් ම ධර්‍මස්ථිතිඥානයි. (හෙවත් ප්‍ර‍තීත්‍ය සමුත්පාදාවබොධය යි) (අවිද්‍යාව ආශ්‍ර‍වසමුදය ය) අතීතයෙහිද, අනාගතයෙහි ද අවිද්‍යාව හේතු ය, සංස්කාර හේතුසමුත්පන්නය. මේ දෙක ම හේතුසමුත්පන්නනය යි ප්‍ර‍ත්‍යය පිරිසිඳැ දැන් ම ස්ථිතිඥානය යි සියලු පද මෙසේ විස්තර කළ යුතු.)

 

අවිද්‍යාව හා සංස්කාර හා එක් සංක්‍ෂේපයෙක, විඤ්ඤාණ, නාම-රූප, සළායතන, ඵස්ස වේදනා එක් සංක්‍ෂේපයෙක. තණ්හා, උපාදාන, භව එක් සංක්‍ෂේපයෙක. ජාති, ජරා, මරණ එක් සංක්‍ෂේපයෙක. මෙයින් මුල දැක්වුණු සංක්‍ෂේපය අතීතකාලීකය. මැද දැක්වුණු සංක්‍ෂේප දෙක වර්‍තමානකාලිකය. අවසානයෙහි දැක්වුණු සංක්‍ෂේපය අනාගත කාලිකයි.

 

තවද මෙහි අවිද්‍යා, සංස්කාර ගැන්මෙන් තණ්හා, උපාදාන, භව ගැනුණේම ය. එබැවින් ඒ පඤ්ච ධර්‍ම අතීත කර්‍මවෘත්ත ය. විඤ්ඤාණ නාම-රූප, සළායතන, ඵස්ස, වේදනා යන පඤ්ච ධර්‍ම වර්‍තමාන විපාක වෘත්ත ය. තණ්හා, උපාදාන, භව ගැන්මෙන් අවිජ්ජා, සංඛාර ද ගැනුණේ ම ය. එබැවින් ඒ පඤ්ච ධර්‍ම වර්‍තමාන කර්‍ම වෘත්ත ය. ජාති-ජරා-මරණ වශයෙන් දැක්වෙන්නේ විඤ්ඤාණ, නාම-රූප, සළායතන, ඵස්ස, වේදනා ය. එබැවින් ඒ පඤ්ච ධර්‍ම අනාගත විපාක වෘත්ත යි. මෙසේ මෙය ආකාර වශයෙන් විසි වැදෑරුම් ය.

 

සංඛාර-විඤ්ඤාන දෙක අතර එක් සන්‍ධියෙක, වේදනා - තණ්හා අතර එක් සන්‍ධියෙක. භව-ජාති අතර එක් සන්‍ධියෙක. (මෙහි විස්තර මතු පටිච්චසමුප්පාද නිර්‍දෙශයෙන් ද,[241] අභිධර්‍ම චන්‍ද්‍රිකා පටිච්චසමුප්පාද පාදයෙන් ද[242] දත හැකි යි.)

 

මෙසේ භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂේප සතරකින් හා අද්ධ තුනකින් හා ආකාර විස්සකින් හා සන්‍ධි තුනකින් හා යුක්ත වූ පටිච්චසමුප්පාදය සර්‍වාකාරයෙන් දන්නා සේක.

 

දැන්ම ඥානාර්‍ථයෙන් ඥානය. ප්‍ර‍ඥාතාර්‍ථයෙන් ප්‍ර‍ඥාය. ‘ප්‍ර‍ත්‍යයාව බෝධයෙහි ප්‍ර‍ඥාව ධර්‍මසථිති ඥානය’ යි එහෙයින් කියනු ලැබේ. උන්වහන්සේ ඒ ධර්‍මස්ථිති ඥානයෙන් ඒ ධර්‍ම තත්ත්‍වාකාරයෙන් දැනැ වදාරා ඒ ධර්‍මයන් කෙරෙහි කළකිරී එහි නො ඇලී ඒ සියල්ලෙන් මිදී යථෝක්ත සංසාර චක්‍ර‍යා ගේ අර විහත විධ්වංසනය කළ සේක. මෙසේ අරහත් බැවින් ද උන්වහන්සේ අරහං (අර්‍හත්) ය. මේ අර්‍ථය ම ගාථාවකින් දක්වයි.

 

“අරා සංසාරචක්කස්ස - හතා ඤාණසිනා යතො

ලොකනාථෙන තෙනෙස - අරහං ති පචුච්චති”යි.

 

‘යම් හෙයකින් ලෝක ස්වාමීන් විසින් සංසාර චක්‍ර‍යාගේ අර ප්‍ර‍ඥාබඩ්ගයෙන් කපා පියන ලද ද, එහෙයින් ඒ ලෝකස්වාමි අරහං යි කියනු ලැබේ’ යනු අර්‍ථ යි.

 

3. බුදුරජාණන් වහන්සේ අග්‍ර‍දක්‍ෂිණාර්‍හ බැවින් චීවරාදි සිව්පසට ද, සෙසු විශේෂයන්ට ද අර්‍භ සේක. ඔවුන් උපන් කල්හි මහේශාක්‍ය දේවමනුෂ්‍යයෝ පවා අන් තන්හි නුපුදා උන්වහන්සේ ම පුදති.

 

ඒ එසේ මැ යි :- සහම්පති බ්‍ර‍හ්ම මහමෙර සා රුවන් දමකින් පිදී ය. සෙසු දෙවියෝ ද, බිම්සර කොසොල් රජ ආදී මනුෂ්‍යයෝ ද, ශක්ති පරිදි පිදූහ. අශොක රජතුමා පිරිනිවි බුදුන් උදෙසා සයානු කෙළක් ධන විසඳා දඹදිව මුළුල්ලෙහි සූඅසූ දහසක් විහාර කරවූයේ ය. සෙසු පූජා විශේෂයෙන් පිළිබඳ කවර කථා ද මෙසේ ප්‍ර‍ත්‍යයාදීන්ට අර්‍භ බැවින් උන්වහන්සේ අරහ ය. මේ අර්‍ථය ගාථාවකිනුදු දක්වයි.

 

“පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං”යි.

 

‘පස්මරුන් දිනූ ලෝකස්වාමි ප්‍ර‍ත්‍යය සහිත පූජා විශේෂයන්ට අර්‍භ සුදුසු බැවින් ලෝකයෙහි අරහ සහ අන්වර්‍ථ නාමයට සුදුසු වන්නේ ය’ යනු අර්‍ථ යි.

 

4. ලොව පණ්ඩිතමානී ඇතැම් මූඨයෝ අපකීර්‍තති භීතියෙන් රහසිගත වැ පව් කරති. මුන්වහන්සේ කිසි කලෙක එසේ රහසිගතව ද පව් නො කරන සේක. එසේ පව් කිරීමෙහි රහස් නැති බැවින් ද උන්වහන්සේ අරහ ය.

 

“යස්මා නත්‍ථි රහො නාම - පාපකම්මෙසු තාදිනො

රහාභාවෙන තෙනෙස - අරහං ඉති විස්සුතො”

 

‘යම් හෙයකින් තාදි බුදුන්හට පව් කිරීමෙහි රහස් නැත්තේ ද, එහෙයින් ඔව්හු රහස් නැති බැවින් “අරහ” යි ප්‍ර‍සිද්ධ ය’ යනු ගාථායෙහි අර්‍ථ යි.

 

“ආරකත්තා හතත්තා ච - කිලෙසාරීන සො මුනි

හතසං සාර චක්කාරො - පච්චයාදීනචාරමො

න රහො කරොති පාපාති - අරහං තෙන පවුච්චති”

 

‘මෙසේ බුදුරජාණන් වහන්සේ ක්ලේශයන්ගෙන් ආරක බැවින් ද, ක්ලේශාරි හත බැවින් ද, සංසාරචක්‍ර‍යාගේ අර හත බැවින් ද, ප්‍ර‍ත්‍යයාදීන්ට අර්‍හ බැවින් ද, රහසවත් පව් නො කරන බැවින් ද අරහ නම් වන සේක.

 

“සම්මා සම්බුද්ධො”

 

ඒ භාග්‍යවතුන් වහන්සේ අවිපරීත කොටැ සියලු ධර්‍මයන් පරෝපදේශ රහිත වැ තමන් වහන්සේ ම අවබෝධ කළ සේක. එහෙයින් උන්වහන්සේ සම්මාසම්බුද්ධ ය. (“සම්මා” යන්නෙන් අවිපරීත කොටැ යන අර්‍ථය ද, “සා” යන්නෙන් තම්න වහන්සේ ම යන අර්‍ථය ද දැක්විණි. “සියලු ධර්‍මයන්” යි කර්‍මය ගත්තේ එක දේශයක් නො දක්වන ලද බැවිනි. එක දේශයක් නො දැක්වූ තැන නිෂ්ප්‍රදේශය ගත යුතු ය.

 

ඒ එසේ මැ යි :- උන්වහන්සේ සියලු ධර්‍මයන් අවබෝධ කළ සේක්ම ය උන්වහන්සේ අභිඥෙය ධර්‍ම අභිඥෙය වශයෙන් අවබෝධ කළ සේක. පරිඥේය ධර්‍ම පරිඥේය වශයෙන් ද, ප්‍ර‍හාතව්‍ය ධර්‍ම ප්‍ර‍හාතව්‍ය වශයෙන් ද, සාත්ක්‍ෂාත් කරණිය ධර්‍ම සාත්ක්‍ෂාත් කරණිය වශයෙන් ද, භාවිතව්‍ය ධර්‍ම භාවිතව්‍ය වශයෙන් ද අවබෝධ කළ සේක. (අභිඥෙය ධර්‍ම නම් විශිෂ්ට ඥානයෙන් දත යුතු චතුස්සත්‍ය ධර්‍ම යි. ලක්ඛණ - රස - පච්චුපට්ඨාන - පදට්ඨාන වශයෙන් දත යුතු ධර්‍ම හෝ පරිඥෙය ධර්‍ම නම් හාත්පසින් දත යුතු දුඃඛ සත්‍යයි. අනිත්‍යාදි ලක්‍ෂණ වශයෙන් පිරිසිඳැ දත යුතු ධර්‍ම හේ ප්‍ර‍හාතව්‍ය ධර්‍ම නම් ‍බැහැර කටයුතු තෘෂ්ණා සඞ්ඛ්‍යාත සමුදය සත්‍ය යි. සාත්ක්‍ෂාත් කරණිය ධර්‍ම නම් ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් දැක්ක යුතු නිර්‍වාණ සංඛ්‍යාත නිරොධ සත්‍ය යි. ඵල- නිර්‍වාණ හෝ භාවිතව්‍ය ධර්‍ම නම් වැඩිය යුතු මාර්‍ග ධර්‍ම යි. වදාළේ මැ යි :-

 

“අහිඤ්ඤෙයං අභිඤ්ඤාතං - භාවෙතබ්බංච භාවිතං;

පහාතබ්බං පහීනං මෙ - තස්මා බුද්ධො‘ස්මි බ්‍රාහ්මණ”[243] යි.

 

‘බමුණ! මා විසින්, ‘අභිඥේය ධර්‍ම අභිඥාත ය. ප්‍ර‍හාතව්‍ය ධර්‍ම ප්‍ර‍හීණ ය. භාවිතව්‍ය ධර්‍ම භාවිත ය. එහෙයින් මම බුද්ධ වෙමි.’ යනු අර්‍ථ යි.

 

තව ද භාග්‍යවතුන් වහන්සේ ඒ චතුස්සත්‍යය ආයතන විඤ්ඤාණා දි වශයෙන් අවබෝධ කළ හෙයින් සම්මාසම්බුද්ධ වන සේකැ යි දක්වති.

 

උන්වහන්සේ චක්‍ෂුරායතනය දුඃඛ සත්‍යය යි ද, ඒ චක්‍ෂුරායතනය උපදවීමට මූලකාරණ වූ තෘෂ්ණාව සමුදය සත්‍යය යි ද, ඒ චක්‍ෂුරායතන - තෘෂ්ණා යන දෙක්හි ම නො පැවැත්ම නිරෝධ සත්‍යය යි ද, නිරෝධ ප්‍ර‍තිවේධ කරන ප්‍ර‍තිපදාව මාර්‍ග සත්‍යය යි ද, මෙසේ එක් එක් ධර්‍මය උද්ධරණය කිරීම් වශයෙන් සියලු ධර්‍මයන් මනා කොටැ තමන්වහන්සේ ම අවබෝධ කළ සේක. සෝතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන මෙසේ යොදා දත යුතු. මෙසේ ම රූපාදි වූ බාහිරායතන සයද, චක්ඛු විඤ්ඤාණාදි විඤ්ඤාණ කාය සය ද, චක්ඛු සම්ඵස්සාදි ඵස්ස සය ද, චක්ඛු සම්ඵස්සජ වේදනාදි වේදනා සය ද, රූපසඤ්ඤාදි සඤ්ඤා සය ද, රූප සඤ්චේතනාදි චේතනා සය ද, රූප තණ්හාදි තෘෂ්ණා සය ද, රූප චිතක්කාදි චිතක්ක සය ද, රූප විචාරාදි විචාර සය ද, රූපක්ඛන්‍ධාදි පඤ්චස්කන්‍ධ ද, දස කසිණ ද, දස අනුස්සති ද, උද්ධුමාතකාදි දස සංඥා ද, කේසාදි දෙතිස් කුණප ද, ද්වාදස ආයතන ද, චක්ඛුධාතු ආදි අටළොස් ධාතු ද, කාම භවාදි නව භව ද, ප්‍ර‍ථමධ්‍යානාදි ධ්‍යාන සතර ද, මෙත්තාදි සතර අප්පමඤ්ඤා ද, ආකාසානඤ්චායතනාදි අරූපසමාපත්ති සතර ද, ප්‍ර‍තිලෝම වශයෙන් ජරා - මරණාදි වූද, අනුලෝම වශයෙන් අවිද්‍යාදි වූ ද, පටිච්චසමුප්පාදාඞ්ග ද යොදා ගත යුතු යි. එයින් අවසන්හි දැක්වුණු ජරා-මරණ යොදන සැටි මෙසේ ය. ජරා-මරණ දුඃඛ සත්‍යය, ජරා - මරණයට ප්‍ර‍ත්‍යය වන ජාතිය සමුදය සත්‍යය, ඒ ජරා-මරණ ජාති දෙක්හිම නිස්සරණය නිරෝධ සත්‍යය, නිරෝධය ප්‍ර‍තිවේධ කරන ප්‍ර‍තිපදාව මාර්‍ග සත්‍ය යි.

 

මෙසේ එක් එක් ධර්‍මය උද්ධරණය කිරීම් වශයෙන් ද උන්වහන්සේ සියලු ධර්‍මයන් මනා කොටැ තමන් වහන්සේ ම අවබෝධ කළ සේක. එ හෙයින් උන්වහන්සේ “සම්මාසම්බුද්ධ” වන සේක.

 

“විජ්ජා-චරණ සම්පන්නො”

 

ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යායෙන් ද, චරණයෙන් ද සම්පන්න බැවින් - යුක්ත බැවින් විජ්ජා-චරණ සම්පන්න වන සේක.

 

එහි විද්‍යා නම් ත්‍රි විද්‍යා යි. අෂ්ට විද්‍යා හෝ ත්‍රි විද්‍යාව භයභෙරව සූත්‍රයෙහි[244] ද, අෂ්ට විද්‍යාව අම්බට්ඨ සූත්‍රයෙහි[245] ද, දැක්වුණු පරිදි දත යුතු (පූර්‍වෙ නිවාසානුස්මෘතිඥානය, දිව්‍යචක්‍ෂුරභිඥානය, ආශ්‍ර‍වක්‍ෂයකරඥානය යන මේ ඥානත්‍ර‍ය ත්‍රි විද්‍යා යි.) විදර්‍ශනාඥානය, මනොමය සෘද්ධිඥානය යන ඥානද්‍වය හා ෂට් අභිඥා හා අෂ්ට විද්‍යා යි. (ෂට් අභිඥා නම් ඉද්ධිවිධ, දිබ්බසොත, පරචිත්තවිජානන, පුබේබනිවාසානුස්සති, දිබ්බචක්ඛු, ආසවක්ඛය යන ඥාන සය යි.)

 

චරණ නම් ශීල සංවරය, ඉන්‍ද්‍රිය සංවරය, භෝජනයෙහි පමණ දන්නා බව ය, ජාගරියානුයොගය හෙවත් නිදි වර්‍ජනයෙහි යෙදීම ය, සද්ධා - හිරි - ඔත්තප්ප - බාහුසච්ච - විරිය - සති - පඤ්ඤා යන සප්ත ධර්‍මය, රූපාවචර ධ්‍යාන සතර ය යන මේ පසලොස් ධර්‍ම යි. මේ ධර්‍ම පසලොස කරන කොට ආර්‍ය්‍ය ශ්‍රාවක නිවන දෙසට චරණය කරයි. ගමන් කරයි. එහෙයින් ඒ ධර්‍ම පසලොස චරණ ධර්‍මය යි කියන ලදි.

 

ඒ එසේ මැ යි :- භාග්‍යවතුන් වහන්සේ මැදුම් සඟි මජ්ඣිම පණ්ණාසකයෙහි “ඉධ මහානාම අරියසාවකො සීලවා හොති”[246] යනාදීන් දැක්වූ සේක.

 

උන්වහන්සේ මේ දැක්වුණු විජ්ජායෙන් ද, චරණයෙන් ද යුක්ත සේක. එහෙයින් විජ්ජා චරණ සම්පන්න වන සේක.

 

මේ විජ්ජා චරණ අතුරෙන් විද්‍යාසම්පත්තිය උන්වහන්සේගේ සර්‍වඥතාඥානය ද, චරණසම්පත්තිය මහාකාරුණිකත්‍වය ද, පුරා සිටියේ ය. උන්වහන්සේ සර්‍වඥතාඥානයෙන් ලෝකයාගේ අර්‍ථානර්‍ථ දැනැ වදාරා මහාකාරුණිකත්‍වයෙන් අනර්‍ථය හැරැ පියා අර්‍ථයෙහි යොදන සේක. විජ්ජා-චරණ සම්පන්නයෙන් කරන්නේ එසේ මැ ය. එයින් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සුපටිපන්න වෙති. දුප්පටිපන්න නො වෙත්. විජ්ජාචරණසම්පන්න නො වූ ශාස්තෘවරයන්ගේ ශ්‍රාවකයෝ දුප්පටිපන්න වැ අත්තන්තප, පරන්තප, උභයන්තප වෙත්.

 

සුගතෝ” ඒ භාග්‍යවතුන් වහන්සේ[247] ශෝභන ගමන් ඇති බැවින් ද, 2. සුන්‍දර තැනට ගිය බැවින් ද 3. මනා කොටැ ගිය බැවින් ද 4. මනා තෙපුල් ඇති බැවින් ද සුගත වන සේක.

 

1. ගත නම් ගමන ය. භාග්‍යවතුන් වහන්සේගේ ගත-ගමන ශෝභන ය, පරිශුද්ධ ය, නිරවද්‍ය යි ඒ ගත නම් - ගමන නම් කිම? ආර්‍ය්‍ය මාර්‍ගය යි. උන්වහන්සේ ආර්‍ය්‍යමාර්‍ග සංඛ්‍යාත ගතයෙන් නො ලැගෙමින් නිවන්දිගට ගිය සේක. එබඳු ශොභන ගමන් ඇති බැවින් උන්වහන්සේ සුගත ය.

 

2. සුන්‍දර තැන නම් නිර්‍වාණය යි. ඒ නිර්‍වාණ සංඛ්‍යාත සුන්‍දර තැනට ගිය බැවින් ද උන්වහන්සේ සුගත ය.

 

3. උන්වහන්සේ මනා කොටැ ගිය සේක. ඒ ඒ මාර්‍ගයෙන් ප්‍ර‍හීණ ක්ලේශයන් කරා පෙරලා නො ගිය සේක. එහෙයින් උන්වහන්සේ සුගත ය.

 

කීයේ මැ යි - “සොතාපත්ති මග්ගෙන යෙ කිලෙසා පහිණා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති, න පච්චා ගච්ඡතීති සුගතො. -පෙ- අරහත්ත මග්ගෙන යෙ කිලෙසා පහීණා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති, න පච්චා ගච්ඡතීති සුගතො”[248]යි. අර්‍ථ සුගම යි.

 

තවද උන්වහන්සේ දීපංකරපාදමූලයෙහි පටන් බෝ මැඩ දක්වා සමත්‍රිංශත් පාරමී සංඛ්‍යාත සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් මුළු ලොවට හිත සුව එළවමින් ශාස්වතඋච්ඡෙද වශයෙන් හෝ කාමසුඛ-අත්තකිලමථ වශයෙන් හෝ අන්තද්වයයට නො පැමිණ ගිය සේක. එබැවින් ද උන්වහන්සේ සුගත ය.

 

4. උන්වහන්සේ මනා කොටැ ගදනය කරන සේක. කියන සේක යුතු තැන්හි යුතු වූ ම තෙපුල් තෙපලන සේක. එහෙයින් ද උන්වහන්සේ සුගත ය. මේ අර්‍ථයට සාධක සූත්‍රයෙක් මෙසේ යි.

 

“යං තථාගතො වාචං ජානාති අභුතං අතච්ඡං අනත්‍ථසංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා, න තං තථාගතො වාචං භාසති.

 

යං පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්‍ථ සංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා. න තං තථාගතො වාචං භාසති.

 

යං ච ඛො තථාගතෙ වාචං ජානාති භූතං තච්ඡං අනත්‍ථසංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා, තත්‍ර‍ කාලඤ්ඤු තථාගතො හොති තස්සා වාචාය වෙය්‍යාකරණාය.

 

යං පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්‍ථසංහිතං සා ච පරෙසං පියා මනාපා. තං පි තථාගතො වාචං නභාසති.

 

යං ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්‍ථසංහිතං සා ච පරෙසං පියා මනාපා, තත්‍ර‍ කාලඤ්ඤු තථාගතො හොති තස්සා වාචාය වෙය්‍යාකරණාය.[249]

 

මෙහි අර්‍ථ මෙසේ ය.

 

‘තථාගතයන් වහන්සේ තමන් වහන්සේ දන්නා යම් වචනයෙක් අසත්‍ය ද, අනර්‍ථයෙන් යුක්ත ද, එද අනුනට අප්‍රිය ද, එබඳු වචන නො වදාරන සේක. එසේම උන්වහන්සේ තමන් දන්නා යම් වචනයක් සත්‍ය ද, අනර්ථයෙන් යුක්ත ද, එද අනුනට අප්‍රිය ද එබඳු වචන ද නො වදාරන සේක. එසේම උන්වහන්සේ යම් වචනයෙක් සත්‍ය ද, අර්‍ථයෙන් යුක්ත ද, එද අනුනට අප්‍රිය ද එබඳු වචන කීමෙහි කාලය දන්නා සේක. (අර්‍ථයෙක් වේ නම් අනුනට අප්‍රිය වුව ද සත්‍ය වචනය වදාරන සේකැ යි සේයි) උන්වහන්සේ යම් වචනයෙක් අසත්‍ය නම් අනර්‍ථයෙන් යුක්ත නම් එය අනුනට ප්‍රිය වුව ද නො වදාරන සේක. එසේම උන්වහන්සේ යම් වචනයෙක් සත්‍ය වුව ද අනර්‍ථයෙන් යුක්ත නම් එය අනුනට ප්‍රිය වුව ද නො වදාරන සේක. එසේම උන්වහන්සේ යම් වචනයෙක් සත්‍ය ද අර්‍ථයෙන් යුක්ත ද එද අනුනට ප්‍රිය ද එබඳු වචන කීමෙහි කාලය දන්නා සේක. (කාලානුරූප වැ එබඳු වචන වදාරන සේකැ යි සේයි.)

 

මෙසේ මනා තෙපුල් ඇති බැවින් ද උන්වහන්සේ සුගත ය. (“සුගඳ’ය යි කිය යුතු තන්හි-නිරුක්ත නයයෙන් “සුගත” විය.)

 

“ලෝකවිදු”

 

ඒ භාග්‍යවතුන් වහන්සේ සර්‍වප්‍ර‍කාරයෙන් ලෝකය දන්නා බැවින් “ලෝකවිදූ” නම් වන සේක.

 

ඒ එසේ මැ යි - උන්වහන්සේ ස්වභාව වශයෙන් ද, සමුදය වශයෙන් ද, නිරෝධ වශයෙන් ද, නිරෝධොපාය වශයෙන් ද යන සර්‍වප්‍ර‍කායෙන් ලෝකය දත් සේක. (ස්වභාව වශයෙන් දැක්ම නම් දුඃඛ වශයෙන් දැක්ම ය. සමුදය වශයෙන් දැක්ම නම් ඒ දුඃඛය යමෙකින් වේ නම් ඒ තෘෂ්ණා වශයෙන් දැක්ම ය. නිරෝධ වශයෙන් දැක්වීම නම් යම් තැනෙක ඒ දුඃඛ ස්වභාවය නිරුද්ධ වේ ද ඒ නිර්‍වාණ වශයෙන් දැක්ම ය. නිරෝධ උපාය වශයෙන් දැක්ම නම් ආර්‍ය්‍යමාර්‍ග වශයෙන් දැක්ම යි. මෙහි ලෝක නම් පඤේචාපාදානස්කන්‍ධ ලෝක යි.) “ලෝක” යන්නෙන් පඤේචාපාදාන ස්කන්‍ධලොකය වදාළ බවට දෙශනාවෙක් මෙසේ යි.

 

“යත්‍ථ ඛො ආවුසො න ජායති, නි ජියති, න මියති න වචති, න උප්පජ්ජති. නාහං තා ගමනෙන ලොකස්සන්තං ඤාතෙය්‍යං දිට්ඨෙය්‍යං පත්තෙය්‍යං ති වදාමි. න චාහං ආවුසො අප්පත්‍ථාව ලොකස්සන්තා දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපිචාහං ආවුසො ඉමස්මිංයෙව ව්‍යාමත්තෙ කලෙබරෙ සඤ්ඤිම්හි සමනංක ලොකං ච පඤ්ඤාපෙමි, ලොක සමුදයංච, ලොක නිරොධං ච, ලොක නිරොධ ගාමිනිඤ්ච පටිපදං, පඤ්ඤාපෙමි.

 

ගමනෙන න පත්තබ්බො - ලොකස්සන්තො කුදාචනං,

න ච අප්පත්‍වා ලොකන්තං - දුක්ඛා අත්‍ථි පමොචනං,

 

තස්මා භවෙ ලොකවිදූ සුමෙධො

ලොකන්තගූ වුසිතබ්‍ර‍හ්මචරියො

ලොකස්ස අන්තං සමිතාවි ඤත්‍වා

නාසිංසති ලොකමිමං පරං ච”[250] යි.

 

එක් කලෙක රෝහිතස්ස නම් දේවපුත්‍රයෙක් භගවත් බුදුන් කරා එළඹැ “ස්වාමීනි! මම පෙර රොහිතස්ස නම් සෘෂියෙක් වැ සෘද්ධිබලයෙන් ලෝකාන්තය දක්මි”යි සිතා ගමන් කෙළෙමි. ඒ මම ලෝකාන්තය දැකැ ගන්නට නො හැකි වැ අතර දීම කාලක්‍රියා කෙළෙමි. ස්වාමීනි! පා ගමනින් ගොස් ලෝකාන්තය දැකැ ගන්නට නො හැකිදැ”යි විචාළේය. එවිට බුදුහු මෙසේ වදාළහ.

 

ඇවැත්නි! යම් තැනෙක ජාති - ජරා - ව්‍යාධි - මරණ නැත්තේ ද, චුතිඋප්පත්ති නැත්තේ ද ඒ නිර්‍වාණ සංඛ්‍යාත ලෝකාන්තය ප්‍ර‍කෘති පාද ගමනින් ගොස් දැක්ක හැකි යයි මම නො කියමි. (චුති - උප්පත්ති නැවත ගත්තේ අපරාපර චුති උප්පත්ති සඳහා ය.)

 

ඇවැත්නි! ඒ නිර්‍වාණ සංඛ්‍යාත ලෝකාන්තයට නො පැමිණ දුක් අවසාන කිරීම වන්නේ යයි ද මම නො කියමි. තවද ඇවැත්නි! මේ සංඥා සහිත මනස් සහිත බඹයක් පමණ වූ ශරීරයෙහි ම මම ලෝකය ද ලෝක සමුදය ද, ලෝක නිරොධය ද, ලෝක නිරොධගාමිනී ප්‍ර‍තිපදාව ද පණවමි.

 

(මේ අර්‍ථයම ගාථායෙන් ද සමර්‍ථනය කරති)

 

‘කිසි කලෙක ලෝකාන්තය පාද ගමනින් නො යා හැකි ය. ලෝකාන්තයට නො ගොස් දුකින් මිදීම ද නො කළ හැකි ය.

 

එබැවින් ලෝකය දන්නා ලෝකයෙහි අන්තයට පැමිණි විසූ මාර්‍ග බ්‍ර‍හමචර්‍ය්‍යා ඇති, කෙලෙස් සන්සිඳු වූ සුප්‍රාඥ රහතන්වහන්සේ ලෝකාන්තය දැනැ මෙලොවද පරලොව ද නො පතන සේක.’

 

(මේ දේශනයෙහි “ලෝක” යි වදාළේ පඤ්ච උපාදානස්කන්‍ධ ලෝක ය. කෙවල සෘතු සමුත්‍ථාන රූප ලෝකය නොවේ. එහි චතුස්සත්‍යය පැණවිය නො හැක. මෙයින් භාග්‍යවතුන් වහන්සේ පංච උපාදානස්කන්‍ධ සංඛ්‍යාත ලෝකය දත් හෙයින් ලෝකවිදු නම් වූ සේකැ යි කී නියා දත යුතු යි. ලෝක නම් පංච උපාදානසකන්‍ධ ලෝකය පමණෙක් ද අන්‍ය ලෝක නැත්තේ ද ඇත්නම් ඒ ලෝක උන්වහන්සේ නො දත් සේක් ද යනු විසඳන්නට මෙහි දී ලෝක විභාගය දක්වා ඒ සියලු ලෝක ද දත් පරිදි විස්තර කරති.)

 

සංස්කාර ලෝක, සත්ත්‍ව ලෝක, අවකාශ ලෝක යයි ලෝක ත්‍රිවිධ වේ.)

 

“එකො ලොකො සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා[251] යන මේ දේශනා පාළියෙහි දැක්වුණේ සංස්කාර ලෝක ය. (‘එක් ලෝකයෙකි. එනම් සියලු සත්ත්‍වයෝ ප්‍ර‍ත්‍යයයෙන් පවත්නෝ ය.’ යනු එහි අර්‍ථ යි. මෙහි ආහාර ශබ්දයෙන් ප්‍ර‍ත්‍යය වදාළ බව දත යුතු යි. ප්‍ර‍ත්‍යයෙන් නිපදනා සියල්ල සංස්කාර ලෝක නම් වේ. ඉන්‍ද්‍රිය බද්ධ අනින්‍ද්‍රිය බද්ධ සියලු ස්කන්‍ධයෝ ‘පච්චයෙහි සංවරීයන්ති ලුජ්ජන්ති පලුජ්ජන්තී’යි කී බැවින් සංස්කාර ලෝක නම් වෙත්” යනු සන්න යි “සබ්බෙ සත්තා”යි වදාළේ පුද්ගලාධිෂ්ඨාන වශයෙනි.)

 

“සස්සතො ලොකො ති වා අසස්සතො ලොකො ති වා”[252] යන මේ දෙශනා පාළියෙහි දැක්වුණේ සත්ත්‍ව ලෝක ය. (‘දෘෂ්ටිගතිකයන්ගේ ශාස්වතාදි වශයෙන් ආත්මය ලෝකය යන කල්පනාව භූයො වෘත්තීන් සත්ත්‍ව විෂය වේ. සංස්කාර විෂය නො වේ, “ඉන්‍ද්‍රිය බද්ධ ස්කන්‍ධයන්ගේ සමූහය ද සන්තානය ද සත්ත්‍වලොක නම” යනු සන්න යි. සත්ත්‍ව ලෝක නම් සත්ත්‍වයෝ යි.)

 

“යාවතා චන්‍දිමසුරියා

පරිහරන්ති දිසා භන්ති විරොවනා

තාව සහස්සධා ලොකො

එත්‍ථ තෙ වත්තතෙ වසො”[253]

 

යන මේ දේශනා පාළියෙහි දැක්වුණේ අවකාශ ලෝක ය ‘සඳ හිරු දෙදෙන යම් තාක් තැන් පරිහරණය කරත් ද, බබල බබලා දිගුන් බබුලුවත් ද, ඒ තාක් තැන් එක් ලෝකයෙකි. එ බඳු දහස් ලෝකයෙකි. ඒ දහස් ලෝකයෙහි තාගේ වශය පවත්නේ ය’ යනු එහි අර්‍ථ යි. (“අනින්‍ද්‍රිය බද්ධ, රූපාදීන්ගේ සමූහය ද, සන්තානය ද අවකාශ ලෝක නමි” යනු සන්න යි. අවකාශ ලෝකයට භාජන ලෝක යනු දු නමෙකි.)

 

භාග්‍යවතුන් වහන්සේ සංස්කාර, සත්ත්‍ව, අවකාශ යන මේ ත්‍රිවිධ ලෝක ම දත් සේක. එහෙයින් උන්වහන්සේ ලෝකවිදු ය.

 

(මේ ත්‍රිවිධ ලෝක පිළිබඳ තව ද විස්තරයක් කරති.)

 

සංස්කාර ලෝකය

 

“ලෝක එකෙකි  - එනම් සියලු සත්ත්‍වයෝ ප්‍ර‍ත්‍යයෙන් පවත්නෝ ය.

“ලෝක දෙකෙකි - එනම් නාම - රූප ය.

“ලෝක තුනෙකි - එනම් සුඛ, දුඃඛ, උපෙක්‍ෂා යන ත්‍රිවෙදනාය.

“ලෝක සතරෙකි - එනම් කබලීකාර, ඵස්ස, මනො සඤේචතනා,

                   විඤ්ඤාණ යන සතර ය.

“ලෝක පසෙකි   - එනම් පංච උපාදානස්කන්‍ධයෝ ය.

“ලෝක සයෙකි   - එනම් ආධ්‍යාත්මික ආයතන සය ය.

“ලෝක සතෙකි  - එනම් විඥාන සථිති සත ය.

“ලෝක අටෙකි   - එනම් අෂ්ට ලෝක ධර්‍ම ය.

“ලෝක නවයෙකි - එනම් සත්ත්‍වාවාස නව ය.

“ලෝක දසයෙකි - එනම් ආයතන දස ය.

“ලෝක දෙලොසෙකි    - එනම් ආයතන දොලොස ය.

“ලෝක අටලොසෙකි   - එනම් ධාතු අටලොස ය.”

 

මේ සංස්කාර ලෝක යි උන්වහන්සේ මේ සියල්ල දත් සේක. (නිර්‍වාණය ද, මාර්‍ග-ඵල ද සංස්කාර ලෝකයට ඇතුළත් නොවේ. නිර්‍වාණය ප්‍ර‍ත්‍යයෙන් නො පවත්නේ ය. මාර්‍ග-ඵල ප්‍ර‍ත්‍යයෙන් නිපන් ද ලෝකොත්තර බැවින් සංස්කාර නො වන්නේ ය. සංස්කාර වනාහි අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් යුක්ත යි.)

 

සත්ත්‍වලෝකය

 

භාග්‍යවතුන් වහන්සේ සියලු සත්ත්‍වයන්ගේ ආශය, අනුශය, චරිත, අධිමුක්ති දන්නා සේක. එසේ ම අප්පරජකඛ, මහාරජක්ඛ, තික්ඛින්‍ද්‍රිය, මුදින්‍ද්‍රිය, ස්වාකාර, ද්වාකාර, සුවිඤ්ඤාපය, දුවිඤ්ඤාපය, භව්‍ය, අභව්‍ය සත්ත්‍වයන් දන්නා සේක. එසේ උන්වහන්සේ සත්ත්‍ව ලොකය ද දන්නා බැවින් ලෝකවිදු වන සේක.

 

ආශය - “යම් සේ මෘගයෝ ගෝචරයට ගොස් නැවත අවුත් යම් තැනෙක හොවිද්ද හෝ ඔහුට ආශය නම් වේ ද, එසේ ම සිත ද අන්‍යථා ප්‍ර‍වෘත්ති වැ ද අවුත් යම් තැනෙක හොවී නම් හේ ඔහුට ආශය යි කියනු ලැබේ. හෙ ද ශාශ්වත දෘෂ්ට්‍යාදි විසින් චතුර්විධ වේ.

 

කීයේ මැනු.

 

“සස්සතුච්ඡෙද දිට්ඨි ච - ඛන්ති වෙවානුලොමිකී

යථාභූතං ච යං ඤාණං - එතං ආසය සද්දිතං” යි.

 

මෙහි ශාශ්වතය, උචේඡේදය යන දෘෂ්ටීහු දෙදෙන වට්ටය ආශ්‍ර‍ කළ පුහුදුන්ගේ ආශය, විවට්ටය ආශ්‍ර‍ය කළ ශුද්ධ සත්ත්‍වයනට වනාහි අනුලොම ක්‍ෂාන්තිය, යථාභූත ඥානය යන ආශය” යනු සන්නයි.)

 

අනුශය - මාර්‍ගයෙන් ප්‍ර‍හීණ නො කළ බැවින් සන්තානයෙහි නිදි ගෙනැ මෙන් සිටින සුදුසු කරුණක් ලැබීමෙන් නැගී එන රාගාදි කේලශයෝ සත්දෙන අනුශයයෝ ය.

 

චරිත - සුචරිත, දුශ්චරිත, රාගාදි ෂට් චරිත හෝ

 

අධිමුක්ති - (“අධිමුක්ති නම් අධ්‍යාශය ධාතු යි. හේ ද්විවිධ වේ. හීනාධිමුක්තිය, ප්‍ර‍ණීතාධිමුක්තිය යි” යනු සන්න යි.)

 

අප්පරජක්ඛ - මඳ වූ කෙලෙස් රජස් ඇති ප්‍ර‍ඥා නේත්‍ර‍ ඇත්තා වූ නොහොත් උත්සන්න නො වූ රාගාදි රජස් ඇත්තා වූ

 

මහාරජක්ඛ - මහත් වූ කෙලෙස් රජස් ඇති ප්‍ර‍ඥා නේත්‍ර‍ ඇත්තා වූ නොහොත් උත්සන්න රාගාදි රජස් ඇත්තා වූ.

 

තික්ඛින්‍ද්‍රිය - තීක්‍ෂණ වූ ශ්‍ර‍ද්ධාදි ඉන්‍ද්‍රිය ඇති.

මුදින්‍ද්‍රිය - මෘදු වූ ශ්‍ර‍ද්‍ධාදි ඉන්‍ද්‍රිය ඇති

ස්වාකාර - සුන්‍දර වූ ආකාර ඇති - කල්‍යාණ ප්‍ර‍කෘති ඇති

ද්වාකාර - අයහපත් ආකාර ඇති නරක ප්‍ර‍තිපත්ති ඇති

සුවිඤ්ඤාපය - පහසුවෙන් ධර්‍මය හැඟවිය හැකි

දුවිඤ්ඤාපය - පහසුවෙන් ධර්‍මය හැඟවිය නොහැකි

භව්‍ය - කර්‍මාවරණ, විපාකාවරණ, කේලශාවරණ නැති

අභව්‍ය - කර්‍මාවරණ, විපාකාවරණ, කේලශාවරණ ඇති

 

(කර්‍මාවරණ නම් ආනන්තරිය කර්‍ම කළ. විපාකාවරණ නම් අහේතුක ද්විහේතුක, ප්‍ර‍තිසන්‍ධික, ක්ලේශාවරණ නම් නියත මිථ්‍යාදෘෂ්ටික.)

 

අවකාශලෝකය

 

තථාගතයන් වහන්සේ සත්ත්‍ව ලෝකය සේ ම අවකාශ ලෝකය ද දත් සේක. ලෝකයක් නම් එක් සක්වළෙකි. (“නෙමිමණ්ඩල සදෘශ වූ චක්‍ර‍වාට පර්‍වතයෙන් හාත්පසින් පරික්‍ෂිප්ත හෙයින් ලෝකධාතුව චක්‍ර‍වාළය යි කියනු ලැබේ.” යනු සන්නයි) සක්වළෙක් වනාහි අයම්-විතරින් දොළොස් ලක්‍ෂ තුන්දහස් සාරසිය පණස් (123450) යොදුනෙකි. වටින් සතිස් ලක්‍ෂ දසදහස් තුන්සිය පණස් (3610350) යොදුනෙකි. බොලින් (ගනකමින්) දෙලක්‍ෂ සතලිස් දහස් (240000) යොදුනෙකි. මෙතෙක් විශාල වූ මේ මහාපෘථිවිය සාරලක්‍ෂ අසූදහසක් (480000) යොදුන් ඝන ඇති ජලය පිට පිහිටියේ ය. පෘථිවි සන්‍ධාරක ජලය යනු මේ ය. ඒ ජලය ද නවලක්‍ෂ සැටදහසක් (960000) යොදුන් ඝන ඇති වාතයෙහි පිහිටියේ ය. මේ ලෝක සංස්ථිය යි.

 

මෙසේ පිහිටි සක්වළ මැද මහාමේරු පර්‍වතය සූඅසූ දහසක් (84000) යොදුන් මහසයුරෙහි බැසැ පිහිටියේ ය. එතෙක් ම සයුරින් මතු නැඟී සිටියේ ය. එහි අයම් විතරද සූඅසූදහස් (84000) යොදුනි. නානාවිධ රත්නයෙන් විචිත්‍ර‍ වූ සුගන්‍ධර, ඊසධර, කරවීක, සුදස්සන, නෙමින්‍ධර, විනතක, අස්සකණ්ණ යන සප්තකූට පර්‍වතයෝ ඒ මහමේරුවට අඩින් අඩ පමණින් මහාසාගරයෙහි බැසැ සිටියෝ ය. එසේ ම නැඟී ද සිටියෝ ය.

 

(යුගන්‍ධරය දෙසාළිස් දහසක් (42000) යොදුන් සමුද්‍රයෙහි බැස සිටියේ එපමණක් ම නැඟී සිටියේ ය. ඊසධරය එක්විසි දහසක් (21000 යොදුන් සමුද්‍රයෙහි බැසැ සිටියේ ය. එපමණක්ම නැඟී සිටියේ ය. යනාදීන් කී නියා දත යුතු යි.) තවද මේ සප්තකූට මහාමේරුව පරික්‍ෂේප කොටැ සිටියේය. (මේරුව සිසාරා යුගන්‍ධරය ද, යුගන්‍ධරය සිසාරා ඊසධරය ද යනාදීන් පිහිටියේ යයි දත යුතු.) සතර වරම් රජදරුවන්ගේ ද, දේව යක්‍ෂයන්ගේ ද නිවාස එහි ය. මේ පර්‍වත අතර සීදන්ත සාගර පිහිටියේ ය.

 

හිමාලය පර්‍වතය පන්සියක් (500) යොදුන් උස ය. තුන්සියක් (300) යොදුන් අයම් විතරය. සූඅසූ දහස් (84000) කූටයන්ගෙන් ප්‍ර‍තිමණ්ඩිතය.

 

යම් දඹගසක් නිසා මේ ද්‍විපය ජම්බුද්‍විපය යි ප්‍ර‍කාශ වීද, එහි පිහිටි ඒ දඹගස විටින් පසලොස් (15) යොදුන් හා උසින් පණස් (50) යොදුන් හා කඳ ඇත්තේ ය. ශාඛා පණස් (50) යොදුන් දිග ඇත්තේ ය. පුලුල සියක් (100) යොදුන, උස සියක් යොදුන. අසුර භවනයෙහි චිත්‍ර‍පාටලී රුක ද, ගරුඬ භවනයෙහි සිම්ඛලී රුකද, අපරගෝයානයෙහි කදම්බ රුක ද, උරුකුරුදිවයිනෙහි කප්රුක ද, පූර්‍වවිදෙහයෙහි මහරි රුක ද, තව්තිසා භවනයෙහි පරසතු රුක ද ප්‍ර‍මාණයෙන් මෙතෙක්ම වන්නේ ය.

 

මේ මුළු ලෝක ධාතුව වටා පිහිටි සක්වළගල වනාහි දෙ අසූ දහසක් (82000) යොදුන් මහා සමුද්‍රයෙහි ගැලී සිටියේය. එතෙක්ම සමුදුරින් මතු නැඟී සිටියේ ය.

 

මේ ලෝක ධාතුයෙහි පිහිටි චන්‍ද්‍ර‍ මණ්ඩලය එකුන් පණස් (49) යොදුන සූර්‍ය්‍ය මණ්ඩලය පණස් (50) යොදුන. තව්තිසා භවනය දස දහසක් (10000) යොදුන. අසුර භවනය ද, අවීචි මහනිරය ද, ජම්බුද්‍විපය ද එසේම දසදහස් දසදහස් (10000) යොදුන. අපරගෝයානය සත්දහස් (7000) යොදුන. පූර්‍වවිදේහය ද සත්දහස් යොදුන. උතුරුකුරු දිවයින අටදහසක් (8000) යොදුනි. මේ එක එක මහාවීපයෙක් පන්සිය පන්සිය (500) කොදෙව් පිරිවර කොටැ ඇත්තේ ය. මේ සියල්ල එක් කොටැ ගත් කල්හි එක් සක්වළෙකැ යි කියනු ලැබේ. එය ම එක් ලෝකධාතුවෙක් ද වන්නේ ය. ඒ සක්වළ තුනක් අතරෙහි ලෝකන්තරිය නිරයෙකි. මෙසේ සක්වළ අනන්තය. ලෝකධාතුව ද අනන්තය. භාග්‍යවත් බුදුහු අනන්තවූ බුද්ධඥානයෙන් මේ සියලු අවකාශ ලෝකය ද දත් සේක. එබැවින් උන්වහන්සේ සකල ලෝකය දත් බැවින් ලෝකවිදු නම් වන සේක.

 

“අනුත්තරො”

 

තථාගතයන් වහන්සේ ගුණයෙන් තමන්වහන්සේට වඩා විශිෂ්ටතර වූ කිසිවකු නැති බැවින් අනුත්තර වන සේක.

 

ඒ එසේ මැ යි :- උන්වහන්සේ ශීල ගුණයෙන් ද, සමාධි ගුණයෙන් ද, ප්‍ර‍ඥා ගුණයෙන් ද, විමුක්ති ගුණයෙන් ද, විමුක්ති ඥානදර්‍ශන ගුණයෙන් ද යන සියලු ගුණයෙන් සියලු ලෝකය මැඩ සිටින සේක. උන්වහන්සේ ඒ ශීලාදි ගුණයෙන් තමන් හා සමයක්හු නැති බැවින් අසම සේක. අසම වූ අතීත බුදුවරයන් හා සම බැවින් අසමසම සේක. තමන් රුව බඳු ප්‍ර‍තිමා ද නො කට හැකි බැවින් අප්‍ර‍තිම සේකත වදාළ “සතිපට්ඨානාදි ධර්‍ම එසේ නොවේය” යි පෙරලා ප්‍ර‍තිපක්‍ෂ විය හැකි පුද්ගලයකු නැති බැවින් අප්‍ර‍තිභාග සේක. “තෝ බුදු නොවෙයි මම බුදුමි”යි සිටිය හැකි ප්‍ර‍තිපක්‍ෂ පුද්ගලයකු නැති බැවින් අප්‍ර‍තිපුද්ගල සේක. (මෙහි ශීලාදි ගුණයෝ ලෞකික ලෝකෝත්තර මිශ්‍ර‍යහ. විමුක්තිඥාන දර්‍ශනය වනාහි ලෞකික ම වේ. කාමාවචර ම වේ. එසේ කල්හි “සදෙවකං ලොකං අභිභවති” යනු කෙසේද යත්? අනුභාවයෙන් අසදෘශ බැවිනි. හෙතෙමේ විෂය හෙයින් ප්‍ර‍වෘත්ති ආකාර හෙයින් උත්තරීතර වූයේ අනන්‍ය සාධාරණ වූයේ තථාගතයන් ගේ විමුක්ති ගුණය අරමුණු කොටැ පවත්ති. පවත්නේ ද ප්‍ර‍තිපක්‍ෂයන් සුප්‍ර‍හීණ බැවින් අතර්‍කාවචර වූ පරම ගම්භීර වූ සූක්‍ෂම විෂය මනාකොට ප්‍ර‍කට ම කෙරෙමින් පවත්නේ ය. මනාකොටැ වසීතාවයට පැමිණ වූ බැවිනුදු භවාඞ්ග පරිවාසය අපරිත්‍යක්ත බැවිනුදු ලඝුවැ පවත්ති යනු සන්න යි.)

 

වදාළේ මැයි

 

න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍ර‍හ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය අත්තනා සීලසම්පන්තතරං”[254] යනාදීන්.

 

‘දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයෙහි ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන් - දෙවි - මිනිසුන් සහිත ප්‍ර‍ජායෙහි මට වඩා ශීල සම්පන්නතරයකු මම නොදක්නෙමි.’ යනු එහි අර්‍ථ යි. සමාධි - ප්‍ර‍ඥා විමුක්ති විමුක්ති ඥානදර්‍ශන පිළිබඳව ද මෙසේ මැ යි.

 

අග්ගප්පසාද සූත්‍රාදියෙනුදු මේ අර්‍ථය දැක්විය යුතු. “යාවතා භික්ඛවෙ සත්තා අපදා වා ද්‍විපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා තථාගතො තෙසං අග්ග මක්ඛායති අරහං සම්මා සම්බුද්ධො, යෙ භික්ඛවෙ බුද්ධෙ පසන්තා අග්ගෙ තෙ පසන්තා අග්ගෙ ඛොපන පසන්තානං අග්ගො විපාකො හොති” යනු “අග්ගප්පසාද[255] සූත්‍ර‍ යි. ‘මහණෙනි! අපාද වූ හෝ ද්විපාද වූ හෝ චතුෂ්පාද වූ හෝ බහුපාද වූ හෝ රූපී වූ හෝ අරූපී වූ හෝ සඤ්ඤි වූ හෝ අසඤ්ඤී වූ හෝ නේවසඤ්ඤීනාසඤ්ඤී වූ හෝ යම් පමණ සත්ත්‍ව කෙනෙක් වෙද් ද තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ ඒ සියලු සත්ත්‍වනට අග්‍ර‍යහීයි කියනු ලැබෙති. මහණෙනි! යම් කෙනෙක් බුදුන් කෙරෙහි පහන් වුහු නම් ඔව්හු අග්‍රයෙහි පහන් වූවෝ ය.

 

“න මෙ ආවරියො අත්‍ථි - සදිසො මෙ න විජ්ජති

සදෙවකස්මිං ලොකස්මිං - නත්‍ථි මෙ පටිපුග්ගලො”[256]

 

යන ගාථායෙනුදු මේ අර්‍ථය දැක්විය යුතු ය. “මට ආචාර්‍ය්‍යයෙක් නැත. මට සමානයෙක් ද නැත. දෙවියන් සහිත ලෝකයෙහි මට ප්‍ර‍තිවිරුද්‍ධයෙක් ද නැත” යනු එහි අර්‍ථ යි.

 

“පුරිසධම්මසාරථී”

 

“පුරිසදම්මෙ සාරෙතීති පුරිසදම්මසාරථි” පුරුෂ දම්‍යයන් දමනය කට යුතු පුරුෂයන් මෙහෙයයි - දමනය - කරයි - හික්මවයි. යන අර්‍ථයෙන් භාග්‍යවතුන් වහන්සේ පුරිසදම්මසාරථී වන සේක. පුරුෂදම්‍යයෝ නම් නො දැමුණු - දමනය කටයුතු තිරිසන් වූ හෝ මනුෂ්‍ය වූ හෝ අමනුෂ්‍ය වූ හෝ පුරුෂයෝ ය. පිරිමිය. (“දැමිය යුතු මාගමුන් ඇත ද උතුම් හෙයින් පුරුෂයන් ම කීහ.” මාගමුන් දමනය කිරීම කවර අරුමයෙක් ද උන්වහන්සේ පිරිමි දමනය කරන සේක.)

 

ඒ එසේ මැ යි :- උන්වහන්සේ විසින් අපලාල නාගරාජය, චූලෝදර -මහෝදර නාගරාජයෝ දෙදෙනා ය. අග්ගිසිඛ-ධූමසිඛ නාගරාජයෝ දෙදෙනා ය, ආරවාල නාගරාජය ධනපාලක හස්තිය යන මේ ආදි තිරශ්චීන පුරුෂයෝ දමනය කරන ලද්දෝ ය. විෂ නැති කොටැ සරණයෙහි ද, ශීලයෙහි ද පිහිටුවන ලද්දෝය. (මෙහි අපලාල නම් නාරජ හිමවත වෙසෙයි. චූලොදර - මහොදර දෙදෙනා නාදිව වෙසෙත්. අග්ගිසිඛ-ධූමසිඛ දෙදෙන හෙළදිව වෙසෙත් යනු සන්නයි)

 

එසේ ම උන්වහන්සේ විසින් සච්චක නිගණ්ඨය, අම්බට්ඨ මානවකය, පොක්ඛරසාති, සෝණදණ්ඩ, කූටදන්ත බ්‍රාහ්මණයෝ ය යනාදි මනුෂ්‍ය පුරුෂයෝ ද, ආලවක, සුචිරොම, ඛරරොම යක්ෂයෝ ය, සක්දෙව් රජය, බකබ්‍ර‍හ්මය යනාදි අමනුෂ්‍ය පුරුෂයෝ ද විචිත්‍ර‍ වූ විනයන උපායයෙන් දමනය කරන ලද්දෝය. “අහං ඛො කෙසි! සණ්හෙන පි විනෙමි, ඵරුසෙන පි විනෙමි, සණ්හඵරුසෙන පි විනෙමි”[257] යනාදි සූත්‍ර‍ ඊට සාධකයි. ‘කෙසි! මම සියුම් ක්‍ර‍මයෙන් ද, පරුෂ ක්‍ර‍මයෙන් ද, සියුම් වූ ද පරුෂ වූ ද ක්‍ර‍මයෙන් ද ඔවුන් හික්මවමි’ යනු එහි අර්‍ථ යි.

 

තවද උන්වහන්සේ අදමිතයන් මතු දමනය කරන සේක් නොවෙති. දමිතයන් ද දමනය කරන සේක. විශුද්‍ධ ශීලාදියෙන් යුක්තයනට ප්‍ර‍ථමධ්‍යානාදිය දෙවාවදාරමින් ද, සෝවාන් ආදීන්ට මතු මතු මාර්‍ගප්‍ර‍තිපදා දෙවාවදාරමින් ද හික්මවන සේක.

 

“අනුත්තරො පුරිසදම්ම සාරථි”

 

අනුත්තරය, පුරිසදම්මසාරථිය යි යට අර්‍ථ දෙකක් වශයෙන් ගෙනැ විස්තර කළහ. මේ පද දෙකින් එක ම අර්‍ථය ද දැක්විය හැකි ය. භාග්‍යවතුන් වහන්සේ “අනුත්තර-පුරුසදම්මසාරථී” වන සේක. යනු වශයෙනි. හස්තිදම්‍ය සාරථීහු දමනය කටයුතු ඇතුන් එක් දිගකටම දුවවති එයින් ඒ ඇත්තු ඒ දිගටම දුවති. ඒ හස්ති දම්‍ය සාරථීහු අනුත්තර නො වෙති. භාග්‍යවතුන් වහන්සේ එක පර්‍ය්‍යඞ්කයෙහි උන් පුරුෂයදම්‍යයෝ යම් සේ අට දිගට ම නොලැගෙමින් දුවත් ද එසේ දුවවන සේක. හික්මවන සේක. එහෙයින් උන්වහන්සේ අනුත්තර පුරුසදම්ම සාරථී වන සේක. “හත්‍ථිදමකෙන භික්ඛවෙ හත්‍ථිදම්මො සාරිතො එකං එව දියං ධාවති”[258] යනාදි සූත්‍ර‍ය එයට සාධක යි. ‘මහණෙනි! ඇතුන් දමනය කරන්නා විසින් මෙහෙයන ලද හස්තිදම්‍යයා එක දිශාවකට ම දුවයි, යනු එහි අර්‍ථ යි. මෙහි අට දිශා නම් අෂ්ට සමාප්තතිය. (“අට්ඨදිසා යනුදු නිදර්‍ශන මාත්‍ර‍ යි. ලෞකිකයන් විසින් අගත පූර්‍ව වූ නිරොධ සමාපත්ති දිගට ද, නිර්‍වාණ දිගට ද දිවන හෙයින්” යනු සන්න යි. පර්‍ය්‍යඞ්ක යන්නෙන් මෙහි ඉරියව් කියන ලදැයි දත යුතු.

 

“සත්‍ථා දෙවමනුස්සාන”

 

භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන්ට ශාස්තෘ වන සේක. කවර අර්‍ථයෙකින් ශාස්තෘ වන සේක් ද දිට්ඨධම්මික, සම්පරායික පරමත්‍ථ යන මේ ත්‍රිවිධ අර්‍ථයෙන් සුදුසු පරිදි අනුශාසනා කරන්නාහ යන අර්‍ථයෙන් දිට්ඨධම්මික නම් මෙ ලොවින් වන අර්‍ථ ය. සම්පරායික නම් පරලොවින් වන අර්‍ථ ය. පරමත්‍ථ නම් නිර්‍වාණය. උන්වහන්සේ මේ ත්‍රිවිධ අර්‍ථයෙන් යෝග්‍ය පරිදි දෙවිමිනිසුන්ට අනුශාසනා කරන සේක. එහෙයිනි උන්වහන්සේ (සත්‍ථා ය) ශාස්තෘය.

 

තවද සත්‍ථා යන මේ පදයෙන් සාර්‍ථවාහ කියනු ලැබේ. (“සත්‍ථාවාහො යනු සත්‍ථා යනුයෙහි ම අර්‍ථ පහළ කරනු පිණිස කීහ ‘අත්‍ථෙන සහවත්තතී ති සත්‍ථො’ අර්‍ථය හා සමග පවත්නේ සත්‍ථ නමි. හේ කවරයත්? බඩු මිළ ගෙනැ වෙණ දහම් පිණිස දෙශාන්තරයට යන ජනසමූහ යි. ‘හිතූපදෙසාදි වසෙන පරිපාලෙතබ්බො සාසිත බ්බා එතස්ස අත්‍ථි ති සත්‍ථා සත්‍ථවාහො’ ති හිතොපදේශ වශයෙන් රක්‍ෂා කටයුතු අනුශාසනා කටයුතු වෙළඳ මිල මෝහට ඇත්නු යි සත්‍ථා නම් වේ. හේ කවර යත්? සාර්‍ථවාහය යන අර්‍ථ යි. භගවතුදු එබඳු ය යි දක්වනු පිණිස “සත්‍ථා භගවා සත්‍ථවාහො” යි කීහු යනු සන්න යි.)

 

‘යම් සේ සාර්‍ථවාහ සාර්ථයන් චෞරකාන්තාරයෙන්, ව්‍යාල කාන්තාරයෙන්, දුර්භික්‍ෂකාන්තාරයෙන්, නිරුදක කාන්තාරයෙන් එතෙර කරන්නේ ද, එමෙන් භාග්‍යවතුන් වහන්සේ සත්ත්‍වයන් ජාතිකාන්තාරාදියෙන් එතෙර කරන සේක. ක්‍ෂේම භූමි සංඛ්‍යාත නිර්‍වාණයට පමුණුවන සේක. එහෙයින් උන්වහන්සේ සත්‍ථා ය, මෙය නිර්‍දෙශයෙහි[259] ආ පරිදි දක්වන ලදැයි දත යුතු.

 

දෙවිමිනිසුන්ට යයි කීයේ උත්කෘෂ්ට පරිච්ඡේද වශයෙනි. භව්‍ය පුද්ගල වශයෙනි. උන්වහන්සේ තිරිසන් ගිය සත්ත්‍වයන්ට ද අනුශාසනා කරනසේක් ම ය. තිරිසන් ගිය සත්ත්‍වයෝ ද උන්වහන්සේගේ ධර්‍මය අසා උපනිස්සය සමපත් ලැබැ එයින් දෙවන තෙවන අත්බැව්හි මාර්‍ගඵල ප්‍ර‍තිලාභය කරති. මණ්ඩුක දෙවපුත්‍රාදීහු එයට නිදර්‍ශන යි.

 

භාග්‍යවතුන් වහන්සේ ගග්ගරා නම් පොකුණු තෙර චම්පා නගරවාසීන්ට ධර්‍ම දේශනා කරන කල්හි එක් මැඩියෙක් උන්වහන්සේගේ ස්වරයෙහි නිමිත්ත ග්‍ර‍හණය කැරැ සිටියේය. එක් වසුපල්ලෙක් නො දැනැ දඬු කෙළවර උගේ හිස මත තබා එහි එල්බැ සිටියේ ය. එයින් මැඩියා කලුරිය කෙළේ ධර්‍ම ස්වරයෙහි ගත් ප්‍ර‍සාදයෙන් තව්තිසා දෙව්ලොව දොලොස් යොදුන් රන් විමනෙක උපන්නේ ය. දෙවඟනන් දහසෙක් පිරිවර විය. හේ තමා සිරි සම්පත් දැකැ “කොල, මමත් මෙහි උපන්මි. කවර කර්‍මයක් කෙළෙම් දැ”යි බලන්නේ ඒ කාරණය දැනැ සතුටු වැ එකෙණෙහි ම විමානය හා සමඟ එහි අවුත් බුදුන් පා වැන්දේ ය. බුදුහු මෙසේ විචාළෝ ය.

 

“කො මෙ වන්‍දති පාදානි - ඉද්‍ධියා යසසයා ජලං

අභික්කන්තෙන වණ්ණෙන - සබ්බා ඔහාසයං දිසා”[260]

 

‘සෘද්ධියෙන් යසසින් සියලු දිගුන් බබුළුවමින් විශිෂ්ට වර්‍ණයෙන් යුක්තවැ කවරෙක් මේ මාගේ පා වඳින්නේ ද’

 

එවිට මණ්ඩුක දේවපුත්‍ර‍ මෙසේ කිය යි.

 

“මණ්ඩුකොහං පුරෙ ආසිං - උදෙකෙ වාරි ගොචරො

තව ධම්මං සුණත්තස්ස - අවධි වච්ඡපාලකො”[261]

 

‘මම පෙර ජලය ගොදුරු කොටැ ඇති දිය මැඩියෙක් වැ සිටියෙමි ඔබගේ බණ අසත් ම පසුපල්ලෙක් මා මැරුයේ ය.’

 

උන්වහන්සේ ඔහුට බණ වදාළ සේක. සුවාසූදහසක් ප්‍රාණීන්ට ධර්‍මභිසමය විය. ඒ දෙව්පුත් ද සෝවාන් වැ සිනාසිසී ගියේ ය.

 

“බුද්ධො”

 

දත යුතුය යන යමෙක් ඇත්තන් ඒ සියල්ල අවබෝධ කළ බැවින් භාග්‍යවතුන් වහන්සේ විමොක්‍ෂාන්තිකඥාන වශයෙන් බුද්ධ නම් වන සේක. (“සියලු කෙලෙසුන් කෙරෙන් මුක්ත වන හෙයින් රහත් මඟ විමොක්‍ෂ නම. විමොක්‍ෂාවශාන යෙහි උපදනා බැවින් රහත් ඵලය විමොක්‍ෂාන්ත නම රහත් ඵලය ලද කල ලැබිය යුතු බැවින් සව්නේ දන්නා නුවණ විමොක්ඛන්තික ඤාණ නමි. ඒ නුවණින් බුද්ධ නම් විය යන අර්‍ථ යි” යනු සන්න යි) සම්බුද්ධ - යන දෙපාදයාගේ අර්‍ථ විශේෂය සන්නයෙහි මෙසේ දක්වති. ‘සම්බුද්ධො යන මෙයින් සංක්‍ෂේපයෙනුදු විස්තරයෙනුදු ශාස්තෘහුගේ චතුස්සත්‍යාවබෝධය උක්ත ය. බුද්ධො යන මෙයින් වනාහි තදන්‍යඥෙයයාගේ අවබෝධය උක්ත යි. පූර්‍ව වචනයෙන් හෝ ශාස්තෘහුගේ ප්‍ර‍තිවේධ ඥානානුභාවය දර්‍ශත ය. පශ්චිම පදයෙන් දේශනා ඥානානුභාවය දර්ශිතය යි වක්‍ෂ්‍යමාන විශේෂය ද්‍යොතිත වේ නු යි දත යුතු යි.

 

තවද උන්වහන්සේ චතුස්සත්‍යය තෙමේ ද අවබෝධ කළ සේක. අන්‍යයන්ට ද අවබෝධ කරවන සේක. එහෙයින් ද උන්වහන්සේ බුද්ධ ය. “ඛුජ්ඣිතා සච්චානී ති බුද්ධො බොධෙතා පජායා ති බුද්ධො” යනාදීන් නිර්‍දෙශයෙහි ද, පටිසම්භිදායෙහි ද වදාළ ක්‍ර‍මය මෙහි ලා විස්තර කළ යුතු යි.

 

කෙනට්ඨෙන බුද්ධො? ඛුජ්ඣිතා සච්චානීති බුද්ධො බොධෙතා පජායාති බුද්ධො. සබ්බඤ්ඤුතාය බුද්ධො, සබ්බදස්සාවිතාය බුද්ධො, අනඤ්ඤනෙය්‍යතාය බුද්ධො, වීස විතාය බුද්ධො. ඛීණාසව සංඛාතෙන බුද්ධො. නිරූපලෙප සංඛාතෙන බුද්ධා, එකන්තවීතරාගො ති බුද්ධො, එකන්තවීතදොසො ති බුද්ධො, එකන්තවීතමොහො’ති බුද්ධො, එකන්තනික්කිලොසො’ති බුද්ධො. එකායනමග්ගං ගතො’ති බුද්ධො, එකො අනුත්තරං අභිසම්බොධිංං අභිසම්බුද්ධොති බුද්ධො, අබුද්ධි විගතත්තා බුද්ධි පටිලාබා බුද්ධො, බුද්ධො’ති නෙ’තං නාමං මාතරා කතං න පිතාරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තා මච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්‍රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධොනං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං බුද්ධො ති”[262]

 

‘කවර අර්‍ථයෙකින් බුද්ධ නම් වේ ද චතුස්සත්‍යය තමන් ම අවබෝධ කල බැවින්, අන්‍යයන් අවබෝධ කරවූ බැවින්, සියල්ල දන්නා බැවින්, සියල්ල දක්නා බැවින්, අනෙකකු විසින් අවබෝධ නො කරවන ලද බැවින්, ක්ලේශ නිද්‍රායෙන් පිබිදි බැවින්, ආශ්‍ර‍වක්‍ෂය කළ බැවින්, ක්ලේශ ලෙල්ප නැති බැවින්, ඒකාන්තයෙන් වීතරාග, වීතදෝස, වීතමෝහ බැවින්, ඒකාන්ත ක්ලේශ බැවින්, ඒකායන මාර්‍ගයට ගිය බැවින් හුදෙකලාව අනුත්තර සම්‍යක් සම්බෝධි අවබෝධ කළ බැවින්, අබුද්ධි නැසූ බැවින්, බුද්ධි ලැබූ බැවින් බුද්ධ නම් වේ. උන්වහන්සේට බුද්ධ යන මේ නාමය මව්පියන් විසින් සහෝදර - සහෝදරියන් විසින් මිත්‍රාමාත්‍යයන් විසින් සහ ලේ නෑයන් විසින් මහණ බමුණන් විසින් දෙවියන් විසින් තබන ලද්දේ නො වේ. ඒ බුද්ධ යන ප්‍ර‍ඥප්ති නාමය වනාහි උන්වහන්සේට බෝමුල සවන් නැණ ලැබීම සමඟ විමොක්‍ෂාන්තික වශයෙන් ලැබුණේ ය යනු එහි සංක්‍ෂෙපාර්‍ග යි.

 

“භගවා”

 

භගවත්’ යනු ගුණයෙන් විශිෂ්ට වූ සියලු සත්ත්‍වයන්ට උතුම් වූ ගෞරවාර්‍හ වූ ඒ තථාගතයන් වහන්සේට කියයුතු ගෞරව නාමයෙකි.

 

කීයේ මැ යි:-

 

“භගවාති වචනං සෙට්ඨං - භගවාති වචනමුත්තමං

ගරුගාරවයුත්තො සො - භගවා තෙන වුච්චති” යි.

 

භගවත්” යන මේ නාමය ශ්‍රෙෂ්ඨ නාමයෙකි. “භගවත්” යන මේ නාමය උතුම් නාමයෙකි. ඒ තථාගතයන් වහන්සේ ගුරු ය. ගෞරවයෙන් යුක්ත ය. එ බැවින් උන්වහන්සේ “භගවත්” යි කියනු ලැබේ. යනු එහි අර්‍ථ යි. “භගවත්” යන මෙයින් කියනු ලබන්නේ ශ්‍රෙෂ්ඨයෙකි. “භගවත්” යන මෙයින් කියනු ලබන්නේ උත්තමයෙකි. ඒ තථාගතයන් වහන්සේ ශ්‍රෙෂ්ඨය, උත්තම ය. ගෞරවයෙන් යුක්ත ය. එ බැවින් උන්වහන්සේ භගවත් යි කියනු ලැබේ. යන වශයෙන් ද මෙහි අර්‍ථ දිය හැකිය. එවිට වචන ශබ්දයෙන් අර්‍ථය කියනු ලබන බව දත යුතු යි.

 

නාම වනාහි 1. ආවත්‍ථික නාම, 2. ලිඞ්ගික නාම, 3. නෙමිත්තක නාම 4. අදිච්ච සමුප්පන්න නාම ය යි සිව් වැදෑරුම් වේ. අධිච්ච සමුප්පන්න නාමයට යදිච්ඡකය යි ද ලෝකයෙහි ව්‍යවහාර කරත්.

 

1. ගවයාගේ කුඩා අවස්ථාව ගෙනැ “වස්සා” ය යි ද, තරුණ අවස්ථාව ගෙනැ “දම්මයා” යි ද, මහලු අවස්ථාව ගෙනැ ‘බලීවර්‍දයා’යි ද කියනු ලැබේ. මෙසේ ඒ ඒ අවස්ථා වශයෙන් ගෙනැ තබනු ලබන නාම ආවත්‍ථික නාම යි.

 

2. දඩු ඇත්තේ “දණ්ඩි” ය යි ද, ඡත්‍ර‍ ඇත්තේ “ඡත්තී” ය යි ද, සිඛා ඇත්තේ “සිඛී” ය යි ද, කර ඇත්තේ “කරී” ය යි ද කියනු ලැබේ. මෙසේ ඒ ලිඞ්ග - ද්‍ර‍ව්‍ය ගෙන ඒ වශයෙන් තබනු ලබන නාම ලිඞ්ගික නාම යි.

 

3. ත්‍රිවිද්‍යා ඇත්තේ “තෙවිජ්ජ” යි ද ෂට් අභිඥා ඇත්තේ “ෂඩභිඥ” යි ද කියනු ලැබේ. මෙසේ ඒ ඒ නිමිත්ත වශයෙන් ගෙනැ තබනු ලබන නාම නෙමිත්තක නාම යි.

 

4. වචනාර්‍ථ නො සලකා ශ්‍රීවර්‍ධන, ධනවර්‍ධන ආදි වශයෙන් තබනු ලබන නාම අධිච්චසමුප්පන්න යි.

 

මේ සිව් වැදෑරුම් නාම අතුරෙන් “භගවත්” යනු නෙමිත්තක නාම යි. ඒ වනාහි උන්වහන්සේට මහාමායා දෙවී විසින් හෝ සුදොවුන් මහ රජතුමන් විසින් හෝ අසූ දහසක් නෑ කුලයන් විසින් හෝ ශ්‍ර‍ක්‍ර‍-සන්තුසිතාදි දෙවි කෙනෙකුන් විසින් හෝ තබන ලද්දේ නො වේ. හුදෙක් නෙමිත්තක වශයෙන් ලැබුණේ ය. කීයේ මැ යි : ධර්‍මසෙනාපතීන් විසින් :

 

“භගවාති නෙතං නාමං මාතරා කතං -පෙ-විමොක්ඛන්ති-කමෙතං බුද්ධානං භගවන්තානං බොධියාමූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවා”[263] යි අර්‍ථ පෙර කී සේ යි.

 

නෙමිත්තක නාම අතුරෙනුදු මේ ගුණ නෙමිත්ත ය. ඒ ගුණ මේ ගාථායෙන්  දැක්වේ.

 

“භගී භජී භාගි විභත්තවා ඉති

අකාසි භග්ගං’ති ගරූති භාග්‍යවා,

බහූහි ඤායෙහි සුභාවිතත්තතො

භවන්තගො සො ගවා ති වුච්චති.”

 

සො ගරු භගී ඉති, භජී ඉති, භාගී ඉති, විභත්තවා ඉති, භග්ගං අකාසි ඉති, භාග්‍යවා ඉති, බහූහි ඤායෙහි සුභාවිතතේතා ඉති, භවන්තගො ඉති “භගවා” ති වුච්චති යි සම්බන්‍ධ කරනු.

 

‘ඒ තුන්ලො ගුරු වූ ශාස්තෘන් වහන්සේ ඓශ්වර්‍ය්‍යාදි භේද ඇති භග ධර්‍ම ඇත්තේ ය. යන අර්‍ථයෙන් ද, පන්ත සේනාසනාදිය භජනය කෙළේ ය යන අර්‍ථයෙන් ද, අර්‍ථ-ධර්‍ම-විමුක්ති-රස භාග ඇත්තේ යන අර්‍ථයෙන් ද, ලෞකික ලෝකෝත්තර ධර්‍ම විභාග කෙළේ ය යන අර්‍ථයෙන් ද, කාය භාවනාදි අනේක භාවනා ක්‍ර‍මයෙන් වඩන ලද සිත් ඇත්තේ ය යන අර්‍ථයෙන් ද, භවයෙහි අන්තයට ගියේ ය යන අර්‍ථයෙන් ද භගවත් යි කියනු ලැබේ යනු එහි අර්‍ථ යි. මේ එක් එක් පාදයාගේ අර්‍ථ නිර්‍දෙශයෙහි කී පරිදි දත යුතු.

 

තව ද භගවා (භගවත්) යනු මෙසේ ද වර්‍ණනා කරනු ලැබේ.

 

“භාග්‍යවා භග්ගවා යුත්තො - භගෙගි ච විහත්තවා,

භත්තවා වත්තගමනො - භවෙසු භගවා තතො.”

 

1. භාග්‍යවා 2. භග්ගවා 3. භගෙහි යුතේතා, 4. විභත්තවා 5. භූත්තවා 6. භවෙසු වන්ත ගමනො. තතො සො භගවා යනු සම්බන්‍ධ යි.

 

1. භාග්‍යවා ඉති භගවා - භාග්‍ය ඇත්තේ නු යි භගවා (භගවත්) නම් වේ. මෙහි භාග්‍ය නම් ලෞකික ලෝකෝත්තර සැප නිපදවන දාන ශීලාදි පාරමී භාවයට පැමිණි කුසල් ය. (මෙහි භාග්‍ය නම් කුශල ය. එහි මාර්‍ග කුශලය ලොකොත්තර සුඛ නිර්‍වර්‍තක ය. සෙසු කුශලය ලෞකික සුඛ නිර්‍වර්‍තක යි. නොහොත් සෙසු කුශලය ද විවර්‍තොපනිශ්‍ර‍ය වූයේ පර්‍ය්‍යායයෙන් ලෝකෝත්තර සුඛ නිවර්‍තක ද වේ” යනු සන්නයි) ‘භාග්‍යං අස්ස අත්‍ථි’ යන වාක්‍යයෙහි “භාග්‍යවා” යි විය යුතු තන්හි නිරුක්ත නයයෙන් හෝ ශබ්ද ශාස්ත්‍ර‍ නයයෙන් “භගවා” යි විය.

 

නිරුක්ත නය නම් :-

 

“වර්‍ණගමො වර්‍ණ විපර්‍ය්‍යයශ්ච

ද්වෞ චාපරෞ වර්‍ණ විකාර නාශෞ,

ධාතොස්තදර්‍ථාශයෙන යොග-

ස්තදුච්‍යතෙ පඤ්චවිධං නිරුක්තම්” යි

 

දැක්වුණු පඤ්චවිධ නිරුක්ත ක්‍ර‍මය යි.

 

ශබ්ද ශාස්ත්‍ර‍ නය නම් “පෘෂොදරාදීනි යථොපදිෂ්ටම්” යන පාණිනීය සූත්‍රයෙන් කියන ලද පරිදි වන ව්‍යාකරණ නිපාතන ක්‍ර‍මය යි. (පෘෂත් + උදර යනු යම් සේ නිරුක්ත නයයෙන් හෝ ව්‍යාකරණ නයයෙන් හෝ “පෘෂොදර”යි සිද්ධ ද එසේ ම “භාග්‍යවා” යනු “භගවා” යි සිද්ධය යි සේ යි.)

 

(2) භග්ගවා ඉති භගවා - බින්දේ නු යි භගවා නම් වේ. කුමක් බින්දේ නු යි ද ක්ලේශ ශතසහස්‍ර‍යන් බින්දේ නු යි. ක්ලේශ වනාහි එකක - ද්විකාදි වශයෙන් නානාවිධ ය.

 

ඒකක වශයෙන් - රාග, දෝස, මෝහ, නිත්‍ය මනස්කාර, සුඛ මනස්කාර, ආත්ම මනස්කාර.

 

ද්වික වශයෙන් :- අහිරික - අනොත්තප්ප, ක්‍රෝධ-උපනාහ, මක්ඛ-පලාස, ඉස්සා, මච්ඡරිය, මායා-සාඨෙය්‍ය, ථම්භ-සාරම්භ මාන-අතිමාන, මද-පමාද, තණහා-අවිජ්ජා.

 

ත්‍රික වශයෙන් :- ලෝභකුශල මූල - දේවෂාකුශල මූල - මෝහා කුශලමූල; කාය දුශ්චරිත-වාග් දුශ්චරිත - මනො දුශ්චරිත; තෘෂ්ණා සංක්ලේශ - දෘෂ්ටි සංක්ලේශ - මානසංක්ලේශ; රාගමල-ද්වේෂමල - මෝහමල; රාග විෂම - ද්‍වෙෂවිෂම - මෝහවිෂම; කාම සංඥා - භව සංඥා - විභව සංඥා; කාම විතර්‍ක - ව්‍යාපාදවිතර්‍ක - විහිංසාවිතර්‍ක; තෘෂ්ණාප්‍ර‍පඤ්ච - දෘෂ්ටිප්‍ර‍පඤ්ච - මානප්‍ර‍පඤ්ච.

 

චතුෂ්ක වශයෙන් :- නිත්‍ය සංඥා - සුඛ සංඥා - ආත්මසංඥා - ශුභ සංඥා යන චතුර්විධ විපරීත; කාම-භව-දිට්ඨි-අවිජ්ජා යන චතුරාශ්‍ර‍ව; අභිජ්ඣා-ව්‍යාපාද-සීලබ්බතපරාමාස-ඉදසච්චාභිනිවෙස යන චතුර් ග්‍ර‍න්‍ථ; කාමාදි චතුරොඝ; කාමාදි චතුර්‍යොද; ඡන්‍දාදි සතර අගති; චීවරාදි සිව්පස පිළිබඳ වූ සතර තෘෂේණාත්පාද; කාම - දිට්ඨි-සීලබ්බත-අන්තවාද යන සතර උපාදාන.

 

පඤ්චක වශයෙන් :- බුද්ධ, ධර්‍ම, සංඝ ශික්‍ෂා පිළිබඳ සැක හා සබ්රම්සරුන්  කෙරෙහි කිපීම් සංඛ්‍යාත පංච චෙතෝඛිල; කාමයෙහි අවීතරාග-කායයෙහි අවීතරාග-රූපයෙහි අවීතරාග - බඩපුරා කා නිදිසුව විඳීම්-දෙවි සිරි පතා බඹසර විසීම් සංඛ්‍යාත පංච විනිබන්‍ධ; කාමච්ඡන්‍දාදි පංච නීවරණ; රූපාභිනන්‍දනාදි පංච අබිනන්‍දන.

 

ෂට්ක වශයෙන් :- ක්‍රෝධ, මක්ඛ-ඉස්සා-සාඨෙය්‍ය පාපිච්ඡතා සන්‍දිට්ඨිපරාමාස යන ෂට් විවාද මූල; රූප තෘෂ්ණාදි ෂට් තෘෂ්ණා කාය.

 

සප්තක වශයෙන් :- කාමරාග - භවරාග - පටිඝ - මාන - දිට්ඨි-විචිකිච්ඡා - අවිජ්ජා යන සප්ත අනුසය

 

අෂ්ටක වශයෙන් මිත්‍ථාදෘෂ්ටි ආදි අට්ඨ මිච්ඡත්ත

 

නවක වශයෙන් :- තණ්හා - පරියේසන - ලාභ විනිච්ඡය - ඡන්‍දරාග - අජ්ඣොසාන - පරිග්ගහ - මච්ඡරිය - ආරක්ඛාධිකරණ යන නව තෘෂ්ණා මූලක

 

දශක වශයෙන් :- දශ අකුශල ; දශ කර්‍මපථ.

 

ද්වාෂෂ්ටික වශයෙන් - ද්වාෂ්ටි දෘෂ්ටි

 

අෂ්ට ශත වශයෙන් - අෂ්ට ශත තෘෂ්ණා විචරිත

 

මේ ආදි දරථ පිරිඩාහ, ක්ලේශ ශත සහස්‍ර‍යන් බින්දේ නු යි භගවා නම් වේ (“ඉතා බලවත් නු වූ හුණු බව දරථ නම. ඉතා බලවත් වූයේ පරිදාහ නමි” යනු සන්න යි.)

 

තවද සැකෙවින් කියත් හොත් ක්ලේශ මාර, ස්කන්‍ධමාර අභිසස්කාර මාර, දේවපුත්‍ර‍ මාර, මෘත්‍යු මාර යන පස් මරුන් බින්දේ නු යි භගවා නම් වේ. භග්ගවා යි කිය යුතු තන්හි පෙර කී සේ ම භගවා යිවිය. (“සමුච්ඡේද ප්‍ර‍හාණ වශයෙන් සර්‍වාකාරයෙන් අප්‍ර‍වෘත්ත කරණයෙන් ක්ලේශ මාරයා ද, සමුදය ප්‍ර‍හාණ පරිඥා වශයෙන් ස්කන්‍ධ මාරයා ද, සහාය වෛකල්‍ය කරණ වශයෙන් - සර්‍වථා අප්‍ර‍වෘත්ත කරණ වශයෙන් අභිසස්කරණ මාරයා ද බල විධමන විෂයාතික්‍ර‍මණ වශයෙන් දේවපුත්‍ර‍ මෘත්‍යු මාරයන් ද භග්න කෙළේ ය යනු අර්‍ථ යි” යන්න සන්න යි.)

 

කීයේ මැ යි :-

 

“භග්ගරාගො භග්ගදොසො - භග්ගමොහො අනාසවො

භග්ගාස්ස පාපකා ධම්මා - භගවා තෙන, පවුච්චති”යි

 

‘යම් හෙයකින් ඒ ශාස්තෘන් වහන්සේ බුන් රාග-දෝස-මෝහ ඇති සේක් ද, ආශ්‍ර‍ව නැති සේක් ද, සියලු පව් බිඳැ පී සේක් ද එහෙයින් භගවා යි කියනු ලැබේ’ යනු අර්‍ථ යි.

 

මෙසේ භාග්‍ය ඇත්තේ භගවා භග්න ක්ලේශ ඇත්තේ භගවා යි අර්‍ථ දෙකෙන් දක්වන ලදි. එයින් “භාග්‍ය ඇත්තේ” භගවා යන්නෙන් ශතපුණ්‍යශ්‍රී ලක්‍ෂණ ධර වූ උන්වහන්සේගේ රූපකාය සම්පත්තිය ද, “භග්න ක්ලේශ ඇත්තේ” භගවා යන්නෙන් ධර්‍මකාය සම්පත්තිය ද දක්වන ලදැ යි දත යුතු. එසේම “භාග්‍ය ඇත්තේ භගවා”යි කීමෙන් සාමාන්‍ය ලෞකික මහජනයා විසින් බුහුමන් කරනු ලබන බව ද, “භග්න ක්ලේශ ඇත්තේ භගවා” යි කීමෙන් පරීක්‍ෂක ලෝකයා විසින් බුහුමන් කරනු ලබන බව ද දැක්වුණේ ය. තවද මුල පෙදෙන් ක්‍ෂත්‍රියාදි ගෘහස්ථයන් විසින් එළඹිය යුතු බව ද, දෙවෙනි පෙදෙන් තාපසාදි ප්‍ර‍ව්‍ර‍ජිතයන් විසින් එළඹිය යුතු බව ද, මුල පෙදෙන් එළඹි ගෘහස්ථයන්ගේ කාය පීඩා දුරු කිරීමෙහි පොහොසත් බව ද, දෙවෙනි පෙදෙන් එළඹි පැවිද්දන්ගේ චිත්තපීඩා දුරු කිරීමෙහි පොහොසත් බව ද, මුල පෙදෙන් තමන් කරා එළඹියනට ලෞකික සැප දීමෙහි සමර්‍ථ බව ද, දෙවෙනි පෙදෙන් තමන් කරා එළඹියනට ලෝකෝත්තර සැප දීමෙහි සමර්‍ථ බව ද දැක්වුණේ ය.

 

භගෙහි යුත්තො ඉති භගවා - භග ධර්‍මයන්ගෙන් යුක්ත වූයේ භගවා (භගවත්) නම් වන්නේ ය. භග ධර්‍ම නම් භග ශබ්දයෙන් වාච්‍ය වන (අ) ඓශ්චර්‍ය්‍ය, (ආ) ධර්‍ම, (ඉ) යශස්, (ඊ) ශ්‍රී, (උ) කාම, (ඌ) ප්‍ර‍යත්න යන ෂට් අර්‍ථ යි. එහෙයින් කීහ.

 

“ඓශ්චර්‍ය්‍යස්‍ය සමග්‍ර‍ස්‍ය - ධර්‍මස්‍ය යශස: ශ්‍රිය:

කාමස්‍යාථ ප්‍ර‍යත්නස්‍ය - ෂණ්ණාං භග ඉති ස්මෘතා”යි

 

(අ) උන්වහන්සේට ස්වකීය චිත්තයෙහි පරම ඊශ්වරත්‍වය ඇත්තේ ය; (“තමා සිත්හු වශීභාවයට පැමිණවීමෙන් ප්‍ර‍තිකූල අරමුණෙහි අප්‍ර‍තිකුල සංඥි වැ විහරණ සිද්ධිය ද අධිෂ්ඨානාදි සෘද්ධි විධිය ද චිත්ත භාවනාව ගේ වශීභාව ප්‍රාප්තීන් සිද්‍ධ වන බැවින් චිතෛතශ්වර්‍ය්‍ය නම් හඟනේ” යනු සන්නයි) ලෞකික සම්මත අණිම - ලඝිම ආදි ඓශ්චර්‍ය්‍ය හෝ සර්‍වාකාරයෙන් පරිපූර්‍ණ වැ ඇත්තේ ය. (“ආදි ශබ්දයෙන් මහිම, පත්ති, පාකම්ම, ඊසතා, වසිතා, යත්‍ථකාමාවසාසිතා යන මේ සදෙන සංගෘහීතයෝ යි. (ඉහි කායයාගේ ආනුභාව කිරීම අණිම නම් වේ. (අණු නම් කුඩා) ලඝු බව - සැහැල්ලු බව ලඝිම නම් වේ. ආකාශයෙහි පදසාගමනාදීන් මහත්ත්‍වය මහිම නම් වේ. ඒ මහිමයෙන් ඉෂ්ට දේශයට ප්‍රාප්තිය පත්ති නමි. අධිෂ්ඨානාදි වශයෙන් ඊප්සිත නිෂ්පාදනය පාකම්ම නමි. වසඟ බව - ඊශ්වරභාවය ඊප්සිත නමි. සෘද්ධිභාවය වශීභාවය වසිතා නමි. අහසින් යන්නහුගේ හෝ අනෙක් කිසිවක් කරන්නහුගේ හෝ යම්කිසි තැනෙක නිමාවට පැමිණීම යථාකාමාවසාසිත නමි. කුමාර රූපාදි දර්‍ශනයයිදු කියත්. මේ අෂ්ටවිධ වූ ලෞකික සම්මත ඓශ්චර්‍ය්‍ය භගවත්හු සෘද්‍ධිවිධ ඥානයෙහි ඇතුළත් වූයේ අනන්‍ය සාධාරණ නු යි. සබ්බ කාරපරිපූරං’ අර්‍ථ කීහු” යනු සන්නයි.) ශාසනික වූ හෝ බාහිරක වූ හෝ භග සංඛ්‍යාත ඓශ්චර්‍ය්‍ය ඇත්තේ භගවා යි කී නියා යි.

 

(ආ) ධර්‍ම නම් ලෝකෝත්තර ධර්‍ම ය.

 

(ඉ) යශස් නම් විද්‍යාමාන වූ ම ගුණය කරණ කොටැ ලැබුණු තුන් ලෝ පතළ - ඉතා පිරිසිදු කීර්‍තති ය.

 

(ඊ) ශ්‍රී නම් රූපකාය දර්‍ශනයෙහි ව්‍යාපෘත වූවන්ගේ මනනුවන් පිණවීමෙහි සමර්‍ථ වූ සර්‍වාකාර පරිපූර්‍ණ සියලු අඞ්ග ප්‍ර‍ත්‍යඞ්ග ගත ශොභා ය.

 

(උ) කාම නම් සිතු පැතු ආත්ම හිත හෝ පරහිත හෝ සියල්ල සිදුවන බැවින් එසේ අභීෂ්ට සිඩි සංඛ්‍යාත කාම ය.

 

(ඌ) ප්‍ර‍යත්න නම් සියලු ලෝකයාගේ ගෞරව ලැබීමට හේතු වූ සම්‍යක් ව්‍යායාම සංඛ්‍යාත උත්සාහය.

 

මෙ කී භග ධර්‍ම ඇත්තේ හෝ භගවා යි.

 

විහත්තවා ඉති භගවා - බෙදූ සේක් නුයි භගවා නම් වේ. කුමක් කෙසේ බෙදූසේක් නු යි ද සියලු ධර්‍මයන් කුශල ත්‍රිකාදි - දුකාදි භේදයෙන් බෙදූසේක් නු යි, කුශලාදි ධර්‍මයන් ස්කන්‍ධ-ආයතන-ධාතු-සත්‍ය-ඉන්‍ද්‍රිය-පටිච්චසමුප්පාදාදි භේදයෙන් බෙදූ සේක් නු යි; දුඃඛාර්‍ය්‍ය සත්‍යය පීඩන-සංඛත-සන්තාප-විපරිනාම යන අර්‍ථ වශයෙන්; සමුදයාර්‍ය්‍ය සත්‍යය ආයුහන-නිදාන-සංයෝග පළිබෝධ යන අර්‍ථ වශයෙන් ද, නිරොධාර්‍ය්‍ය සත්‍යය නිස්සරණ-විවේක-අසංඛත-අමත යන අර්‍ථ වශයෙන් ද; මාර්‍ගාර්‍ය්‍යසත්‍යය නීය්‍යාණික-හේතු-දස්සන-ආධිපතෙය්‍ය යන අර්‍ථ වශයෙන් ද බෙදූසේක් නුයි - බෙදා විවෘත කොට වදාළසේක් නු යි භගවා නම් වේ. විභත්තවා යි කිය යුතු තන්හි පෙර සේ භගවා යි විය. (පීඩනාදි අර්‍ථයන්ගේ විස්තර මතු ඉන්‍ද්‍රිය සත්‍ය නිර්‍දෙශයෙහි ප්‍ර‍කාශ වේ.)

 

5. භත්තවා ඉති භගවා - භජනය කළ සේක් නු යි භගවා නම් වේ. කුමක් භජනය කළ සේක් නු යි දිව්‍ය විහරණ-බ්‍ර‍හ්මවිහරණ ආර්‍ය්‍යවිහරණ යන ත්‍රිවිධ විහරණයන් භජනය කළ සේක් නු යි; (දිව්‍ය විහරණ නම් ධ්‍යාන; බ්‍ර‍හ්මවිහරණ නම් මෛත්‍රී-කරුණා-මුදිතා-උපේක්‍ෂා; ආර්‍ය්‍ය විහරණ නම් ඵල-සමාපත්ති) කාය විවේක-චිත්තවිවේක-උපධිවිවේක යන ත්‍රිවිධ විවේකයෙන් භජනය කළ සේක් නු යි; (කාමයන් කෙරෙන් වෙන් වූ කාය ඇති බව විසින් ඒකී භාවය කාය විවේක නමි; ප්‍ර‍ථම ධ්‍යානාදි වශයෙන් නීවරණාදීන් කෙරෙන් විවික්තචිත්ත ඇති බව චිත්ත විවේක නමි; ස්කන්‍ධොපධි ආදි උපධින් කෙරෙන් වෙන් වූ හෙයින් උපධි විවේක නම් නිවන සුඤ්ඤත - අප්පණිහිත-අනිමිත්ත යන ත්‍රිවිධ විමොක්‍ෂයන් භජනය කළසේක් නු යි අන්‍ය වූ ද ලෞකික - ලෝකෝත්තර උත්තරි මනුෂ්‍ය ධර්‍ම හෝ භජනය කළ සේක් නු යි. බහුල කළ සේක් නු යි භගවා නම් වේ. “හත්තවා”යි වියයුතු තන්හි පෙරප සේ භගවා යි විය.

 

6. භවෙසු වන්තගමනො ති භගවා - භවත්‍රයෙහි වමාළ තෘෂ්ණා මෙන් ඇත්තේ නු යි භගවා නම් වේ. “මෙහනස්ස ඛස්ස මාලා” යනු “මෙඛලා” වූ සේ මෙ ද භගවා යි වූයේ ය.

 

අරහං යනාදි පදයන්ගේ අර්‍ථ විභාගය යි.

 

මෙසේ මේ මේ කාරණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ ද අර්‍හත් ය. සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිදු ය, අනුත්තරපුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිසුන්ට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය යි බුද්ධ ගුණ සිහිකරත් ම ඒ යෝගීහුගේ සිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නො පෙළෙන්නේ ය. බුදුගුණ අරමුණු කොටැ ගත් ඔහුගේ සිත එ කල්හි සෘජු වැ ම පවත්නේ ය. රාගාදීන් පෙළුමක් නැති බැවින් ඔහුගේ සිතෙහි කාමච්ඡන්‍දාදි නීවරණයෝ විෂ්කම්භිත වෙති. කර්‍මස්ථානය අභිමුඛ වීමෙන් සිත සෘජු වූ බැවින් විතර්‍ක-විචාරයෝ බුදු ගුණයට ම නැඹුරු වැ සිටිති. එසේ බුදු ගුණ විතර්‍කනය කරත් ම විචාරණය කරත් ම උපචාර ධ්‍යානය ගෙනැ දෙනැ බලවත් ප්‍රීතිය උපදනේ ය. සිත ප්‍රීතිමත් බැවින් ප්‍රීතිය ආසන්න කොටැ ඇති පස්සද්ධියෙන් කාය චිත්ත දරථ සන්සිඳෙන්නේ ය. දරථ සන්සිඳීමෙන් කායික වූ ද, චෛතසික වූ ද සුවය උපදනේ ය. සුඛිත වීමෙන් සිත බුද්ධ ගුණ අරමුණු කොටැ මැ සමාධිමත් වන්නේ ය. මෙසේ පිළිවෙළින් පැවැතැ එක් ඇසිල්ලෙහි ධ්‍යානාඞ්ග පහළ වන්නේ ය. (මේ අර්‍ථය සන්නයෙහි මෙසේ දැක්වේ) “යම් සමයෙක බුදු ගුණ අරමුණු කොට ඇති භාවනා තොමෝ මතු මතුයෙහි වෙසෙස් එළවමින් පවතී ද එසමයෙහි නීවරණයෝ වික්ඛම්භිත වෙති. කිලෙස්හු සන්සිඳෙත්. සද්ධාදි ඉඳුරෝ සුවිසද වෙති. භාවනා ප්‍ර‍ගුණ වීමෙන් විතක්කවිචාරයෝ සාතිසය වැ පටු වූ කෘත්‍ය ඇතිවැ පවත්නාහු බලවත් ප්‍රීති උපද්දි. ප්‍රීති ආසන්න කාරණ කොට ඇති පස්සද්ධි තොමෝ සවිශේෂ වැ පවත්ති. පස්සද්ධකාය ඇත්තාහට සමාධිය ආසන්න කාරණකොට ඇති සුඛය තර වැ පවත්ති. සුඛයෙන් අනුබ්‍රෑහිත චිත්ත්‍ය කමටහන පිහිටව යි. (මෙසේ අනුක්‍ර‍මයෙන් සුඛභාගයෙහි විතර්‍කාදීහු මතුයෙහි පටු - පටුතර භාවයෙන් පැවැත භාවනාවගේ මධ්‍යම ශමථ ප්‍ර‍තිපත්තීන් ඉඳුරන්ගේ රකරස භාවයෙන් ද පටුතම වැ එක කෙණෙහි ධ්‍යානාඞ්ගයෝ උපදිති දත යුතුයි.)

 

බුද්ධ ගුණ අරමුණු කොටැ ගත් මේ ධ්‍යානය උපචාර ප්‍රාප්ත ම වේ. අර්‍පනාප්‍රාප්ත නො වේ. බුද්ධ ගුණයන්ගේ ගැඹුරු බව ද, නානාවිධ වූ බුද්ධගුණ සිහි කිරීමේ අදහස් පහළ වන බව ද එයට හේතු වශයෙන් සැලකිය යුතු.

 

(“ගැඹුරු දියෙහි හුණු නැවක් මෙන් ගැඹුරු බුදු ගුණෙහි අර්පණා විසින් පිහිට නො ලැබෙන බැවිනුදු නොයෙක් බුදුගුණ සිහිකරනුවහු එක් ගුණයක් සිහි කොටැ අනෙක් ගුණයක් සිහි කිරීමෙහි අභිලාෂ ඇති වැ සිටි හෙයිනුදු අර්පණාවට නො පැමිණැ උපචාර ප්‍රාප්ත ධ්‍යාන වේ” යනු සන්න යි.)

 

බුදු ගුණ සිහි කිරීම නිසා උපදනා බැවින් මේ ධ්‍යානය බුද්ධානුස්මෘතිය යි ව්‍යවහාර කරනු ලැබේ.

 

බුද්ධානුස්මෘතියෙහි ආනිසංස

 

මේ  බුද්ධානුස්මෘතියෙහි යෙදුණු යෝගාවචර යා බුදුන්වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වේ. යටත් පැවතුම් ඇත්තේ වේ. ශ්‍ර‍ද්ධායෙන් ද, ස්මෘතියෙන් ද, ප්‍ර‍ඥායෙන් ද, පුණ්‍යයෙන් ද මහත් බවට පැමිණියේ වේ. නිතර ප්‍රමොද්‍යයෙන් ද, පුණ්‍යයෙන් ද මහත් බවට පැමිණියේ වේ. නිතර - ප්‍රමෝද්‍යයෙන් වසන්නේ වේ. කුඩා-මහත් බිය ඉවසන්නේ වේ. දුක් ඉවසීමට සමර්‍ථ වේ. “බුදුන් හා එක් වැ වසමි” යන අදහස් ඇතියේ වේ. බුද්ධානුස්මෘතිය රඳා සිටින ඔහුගේ ශරීරය පවා චෛත්‍යයක් මෙන් පිදිය යුතු වේ. ඔහුගේ සිත භූමියට නැමුණේ වේ. පාපයක් කරමි යි සිතෙන්නා හා ම බුදුන් අභිමුඛයෙහි සිටිනා සේ පෙනී යන බැවින් පව් කිරීමෙහි ලජ්ජා-භය ඇත්තේ වේ. ඉදින් මාර්‍ග-ඵල නො ලද්දේ නම් එකාන්තයෙන් මරණින් මතු සුගතිගාමී වේ.

 

“තස්මා භවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො

එවං මහානුභාවාය - බුද්ධානුස්සතියා සදා.”

 

‘එසේ හෙයින් මෙසේ මහානුභාව ඇති බුද්ධානුස්මෘතිය සඳහා නුවණැත්තේ නිතර අප්‍ර‍මාදය වඩන්නේ ය.’

 

බුද්ධානුස්මෘති භාවනා විධිය යි.

 

ධර්‍මානුස්මෘතිය

 

ධර්‍මානුස්මෘතිය වඩනු කැමැති යෝගී විසින් රහසිගත වැ විවේක වැ හිඳැ ගෙනැ “ස්වාක්ඛාතො භගවතො ධම්මො සන්‍දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි”[264] යි පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි ද, නවවිධ ලෝකෝත්තර ධර්‍මයෙහි ද ගුණ මෙනෙහි කළ යුතු. (පර්‍ය්‍යාප්ති ධර්‍ම නම් ත්‍රිපිටක පාළි ය. නවවිධ ලෝකෝත්තර ධර්‍ම නම් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්‍හත් මාර්‍ග - ඵල හා නිර්‍වාණ යි.) මින් “ස්වාක්ඛාතො භගවතා ධම්මො” යන පෙදෙන් පර්‍ය්‍යාප්ති ලෝකෝත්තර යන ද්විවිධ ධර්‍මයන්ගේ ද “සන්දිට්ඨිකො” ආදි සෙසු පෙදෙන් ලෝකෝත්තර ධර්‍මයන්ගේ ද ගුණ දැක්වේ. (පර්‍ය්‍යාය වශයෙන් පර්‍ය්‍යාප්ති ගුණ ද දැක්වේ යයි කියත්.)

 

“ස්වාක්ඛාතො භගවතා ධම්මො”

 

භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යාප්ති ලෝකෝත්තර ධර්‍ම මනා කොටැ දේශනා කරන ලද්දේ ය. පර්‍ය්‍යාප්ති ධර්‍මය වනාහි ආදි කල්‍යාණ-මජ්ඣෙ කල්‍යාණ-පරිායෝසන කල්‍යාණ බැවින් ද, සාත්‍ථි සව්‍යඤ්ජන සර්‍ව සම්පූර්‍ණ පිරිසිදු බ්‍ර‍හ්මචර්‍ය්‍යාව ප්‍ර‍කාශ වන බැවින් ද ස්වාක්ඛාතය - මනා කොටැ දේශනා කරන ලද වනැයි දත යුතු. ඒ එසේ මැ යි :- මනා කොටැ දේශනා කරන ලද වනැ යි :- බුදුන් වදාළ එක ගාථාවෙකුදු ශාසන ධර්‍මය සමන්තභද්‍ර‍ බැවින් මුල පෙදෙන් ආදි කල්‍යාණය. දෙවැනි තෙවැනි පෙදෙන් මද්‍ධ්‍යෙකල්‍යාණ ය. අවසන් පෙදෙන් පරියෝසාන කල්‍යාණ යි. එසේ මැ එකානුසන්‍ධික සූතයෙක් නිදානයෙන් ආදි කල්‍යාණ ය. නිගමනයෙන් පරියෝසන කල්‍යාණ ය. සෙස්සන් මද්‍ධ්‍යෙකල්‍යාණ යි. නානානුසන්‍ධික සූත්‍රයෙන් ප්‍ර‍ථම අනුසන්‍ධියෙන් ආදි කල්‍යාණ ය. අවසාන අනුසන්‍ධියෙන් පරියොසාන කල්‍යාණය සෙස්සෙන් මද්‍ධ්‍යෙ කල්‍යාණ යි. මේ දැක්වුණු ත්‍රිවිධ කල්‍යාණත්‍වය සූත්‍ර‍පිටක වසයෙනි.

 

සූත්‍ර‍ විනය උභය පිටක වශයෙන් මෙසේ ය :- සූත්‍ර‍ විනය වනාහි සනිදාන සඋත්පත්තික වශයෙන් ආදි කල්‍යාණ ය. විනෙය ජනයන්ට අනුරූප බැවින් හා දෙසනු ලබන ශීලාදි අර්‍ථය අවිපරීත බැවින් හා හේතු උදාහරණ සහිත බැවින් හා මද්‍ධ්‍ය වශයෙන් මද්‍ධ්‍යෙකල්‍යාණ ය. අසන්නවුන්ට ශ්‍ර‍ද්‍ධාව උපදවන බැවින් නිගමන වශයෙන් පරියෝසාන කල්‍යාණ යි. (ත්‍රිපිටක වශයෙන් ත්‍රිවිධ කල්‍යාණත්‍වය මෙසේ ය.)

 

සියලු පර්‍ය්‍යාප්ති ශාසනය එහි අර්‍ථය වූ ශීල වශයෙන් ආදි කල්‍යාණ ය. සමථ-විදර්‍ශනා-මාර්‍ග-ඵල වශයෙන් මද්‍ධ්‍යෙ කල්‍යාණ ය. නිර්‍වාණ වශයෙන් පරියොසාන කල්‍යාණ යි. තවද ශීල-සමාධි වශයෙන් හෝ ආදි කල්‍යාණ ය. විදර්‍ශනා-මාර්‍ග වශයෙන් මද්‍ධ්‍යෙ කල්‍යාණ ය. ඵල-නිර්‍වාණ වශයෙන් පරියොසාන කල්‍යාණ යි.

 

බුද්ධ සුබොධිතායෙන් හෝ ආදිකල්‍යාණ ය. (බුදුන් මහා නුවණ ඇති බැවින් ධර්‍මය තත් ප්‍ර‍භව හෙයින් ආදි කල්‍යාණය යි කී සේ යි) ධර්‍ම සුධර්‍මතායෙන් මධ්‍යෙකල්‍යාණ ය. (ධර්‍ම සුධර්‍මතා නම් සංකේලශයන්ගේ ප්‍ර‍හාණත්‍වය හා ව්‍යවදානයාගේ පරිපූර්‍ණත්‍වය ගෙනැ දෙන බව යි.) සංඝ සූත්‍ර‍තිපත්තියෙන් පරියෝසාන කල්‍යාණ යි.

 

ධර්‍මය අසා ඒ පිණිස පිළිපදනවූන් විසින් අවබෝධ කටයුතු අභිසම්බෝධියෙන් හෝ ආදිකල්‍යාණ ය. “බෝධිය වනාහි අභිසම්බෝධිය, ප්‍රත්‍යෙකබෝධිය, ශ්‍රාවක බෝධිය යි ත්‍රිවිධ වේ. මෙයින් පිටත් අන්‍යතා නිර්‍වාණාධිගමයක් නැති බැවින් එහි සියලු ගුණයෙන් අග්‍ර‍ බැවිනුදු සෙසු බෝධිද්‍වයට මුල බැවිනුදු අභිසම්බෝධිය ආදි කල්‍යාණය යි කීහු” යනු සන්නයි) ප්‍රත්‍යෙක බෝධියෙන් මද්ධ්‍යෙකල්‍යාණ ය. ශ්‍රාවක බෝධියෙන් පරියෝසාන කල්‍යාණ යි. (ඒ බෝධි දෙකට හීන බැවිනුදු ශාසන ධර්‍ම ශ්‍රාවක බෝධිය අවසන් කොටැ ඇති බැවිනුදු ශ්‍රාවක බෝධියෙන් පරියොසාන කල්‍යාණය යි කී සේ යි.)

 

ධර්‍මය තෙමේ අසනු ලබන්නේ නීවරණ දුරු කිරීමෙන් ශ්‍ර‍වණමාත්‍රයෙනුදු කල්‍යාණ ම ගෙන දෙන්නේ ය. එ බැවින් ආදිකල්‍යාණ ය. පිළිපදිනු ලබන්නේ - සමථ විදර්‍ශනා සැප ගෙනැ දීමෙන් ප්‍ර‍තිපත්තියෙනුදු කල්‍යාණ ම ගෙනැ දෙන්නේ ය. එ බැවින් මජ්ඣෙකල්‍යාණ ය. පිළිපදනා ලද්දේ ප්‍ර‍තිපත්ති - ඵල නිමි කල්හි ෂඩඞ්ගොපෙක්‍ෂා වශයෙන් ඉෂ්ටාරම්මනාදියෙහි තාදි භාවය ගෙනැ දීමෙන් ප්‍ර‍තිපත්ති ඵලයෙනුදු කල්‍යාණ ම ගෙනැ දෙන්නේ ය. එ බැවින් පරියෝසාන කල්‍යාණ යි.

 

මෙසේ ධර්‍මය ආදි මධ්‍යාවශාන කල්‍යාණ බැවින් ස්වාක්ඛාත යි.

සාර්‍ථ-සබ්‍යඤ්ජන-සර්‍ව සම්පූර්‍ණ පිරිසිදු බ්‍ර‍හ්මචර්‍ය්‍යාව ප්‍ර‍කාශ කරන බැවින් කෙසේ ස්වාක්ඛාත වන්නේ ද

 

ත්‍රිවිධ කල්‍යාණ ධර්‍ම වදාරන බුදුහු යම් ශාසන බ්‍ර‍හ්මචර්‍ය්‍යාවක් - මාර්‍ග බ්‍ර‍හ්මචර්‍ය්‍යාවක් ප්‍ර‍කාශ කෙරෙද් ද, නානා නයෙන් දක්වද් ද, ඒ උභය බ්‍ර‍හ්මචර්‍ය්‍යාව ම තම තමාට යෙදෙන යෙදෙන පරිදි අර්‍ථ සම්පත්තියෙන් යුක්ත බැවින් සාර්‍ථ ය; ඛ්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත බැවින් සබ්‍යඤ්ජන ය. ශාසන බ්‍ර‍හ්මචර්‍ය්‍යා නම් ත්‍රිවිධ ශික්‍ෂා හා සියලු පාළි ධර්‍මය යි. මාර්‍ග බ්‍ර‍හ්මචර්‍ය්‍ය නම් සියලු ශික්‍ෂාවන්ගේ සාරය වූ ශික්‍ෂාත්‍ර‍ය සඞ්ගෘහීත ආර්‍ය්‍ය මාර්‍ගය යි. මෙයින් ත්‍රිවිධ ශික්‍ෂා සංඛ්‍යාත ශාසන බ්‍ර‍හ්මචර්‍ය්‍යාව ද, මාර්‍ග බ්‍ර‍හ්මචර්‍ය්‍යාව ද අර්‍ථ සම්පත්තියෙන් යුක්ත බැවින් සාර්‍ථ ය. පාළිධර්‍ම සංඛ්‍යාත ශාසන බ්‍ර‍හ්මචර්‍ය්‍යාව අර්‍ථ සම්පත්තියෙන් හා ඛ්‍යඤ්ජන සම්පත්තියෙන් හා යුක්ත බැවින් සාර්‍ථ ද සබ්‍යඤ්ජන වේ.

 

(ද්විවිධ බ්‍ර‍හ්මචර්‍ය්‍යාව නෙත්ති ක්‍ර‍මයෙනුදු සාර්‍ථ - සබ්‍යඤ්ජන පරිදි දක්වති) ඒ ද්විවිධ සාසන - මාර්‍ග බ්‍ර‍හ්මචර්‍ය්‍යාව වනාහි සංකාසන, පකාසන, විවරණ, විභජන, උත්තානීකරණ, පඤ්ඤත්ති යන සවැදෑරුම් අර්‍ථයෙන් යුක්ත බැවින් සාර්‍ථ ය. අක්ඛර, පද, බ්‍යඤ්ජන, ආකාර, නිරුත්ති, නිද්දේස යන ෂඩ්විධ ශබ්ද සම්පත්තියෙන් යුක්ත බැවින් සබ්‍යඤ්ජන ය. (සංක්‍ෂෙපයෙන් අර්‍ථය හැඟවම සංකාසනය. පළමුවෙන් අර්‍ථය හැඟවීම පකාසනය සංක්‍ෂේපයෙන් කියන ලද්ද විස්තර කිරීම විවරණය. පළමු කියන ලද්ද නැවත නැවත බෙදා දැක්වීම විභජනය. විවරණය තවද ප්‍ර‍කට කොටැ කීම උත්තානි කරණය. විභජනය දෘෂ්ටාන්ත දැක්වීමෙන් ඇසූවන් සිත සතුටු වන සේ ප්‍ර‍කාරයෙන් හැඟවීම පඤ්ඤත්තිය. මෙයින් සංකාසන-පකාසන දෙකින් උද්දේසයද, විවරණ-විභජන දෙකින් නිද්දේසය ද, උත්තානීකරණ-පඤ්ඤත්ති දෙකින් පටිනිද්දේසය ද දක්වන ලදි. උද්දේසය උග්ඝටිතඤ්ඤු පුද්ගලයන් සඳහා ය. නිද්දේසය විපචිතඤ්ඤු පුද්ගලයන් සඳහා ය. පටිනිද්දේසය ඤෙය්‍ය පුද්ගලයන් සඳහා යි.

 

අකඛර නම් අකුරු යි. “යා-සා ආදි එක් අකුරක් ඇති පද ද අක්ඛර වසයෙන් ම මෙහි සලකනු ලැබේ. එක් අකුරක් හෝ විභක්ත්‍යනත්වැ අර්‍ථ ප්‍ර‍කාශ කෙරේ නම් ඒ පද යි. දෙවැනි මතයෙහි අකුරු දෙකකින් වැඩි වූයේ පද යි. බ්‍යඤ්ජන නම් පද කීපයක් එක් වීමෙන් සෑදෙන වාක්‍යයි. වාක්‍ය විභාග කිරීම ආකාර යි. “පකාරතො වාක්‍යවිභාගො ආකාරො” යනු එහෙයින් කීහ. නිරුක්ති නම් නිර්‍වචන ය. “ඵුසතී’ති ඵස්සො, වෙදයතීති වේදනා යනාදීන් විග්‍ර‍හ දැක්වීම නිරුක්තිය යි සේ යි. නිර්‍වචනය තවද විස්තර කිරීම නිර්දේශ යි. නිර්‍වචන වීස්තරොපදේශාන්නිර්‍දෙශම්” යි එහෙයින් කීහු. මේ දොළොස් වැදෑරුම් අර්‍ථ-බ්‍යඤ්ජනයන්ගේ විස්තර විභාග නෙත්තිකලිකායෙහි බලනු.

 

එසේ ම අර්‍ථගම්භීරත්‍වයෙන් හා ප්‍ර‍තිවේධ ගම්භිරත්‍වයෙන් යුක්ත බැවින් සාර්‍ථ ය. ධර්‍මගම්භීරත්‍වයෙන් හා දේශනාගම්භීරත්‍වයෙන් යුක්ත බැවින් සබ්‍යඤ්ජන ය. (“මෙහි අර්‍ථ නම් පෙළ අර්‍ථ ය. ප්‍ර‍තිවේධ නම් පෙළ හා පෙළ අර්‍ථයාගේ යථාවබෝධය යි. ධර්‍ම නම් පාළි ය. දේශනා නම් මනසින් නිශ්චය කළ පෙළ දෙසීම යි. යම් හෙයකින් මේ අර්‍ථාදීහු ශුහාදීන් විසින් මහා සාගරය සේ මන්‍දබුද්ධීන් විසින් දුරවගාහයෝ ද - නො ලැබිය යුතු පිහිට ඇත්තාහු ද, එහෙයින් ගම්භීර නම් වෙත්” යනු සන්න යි.) අත්‍ථපටිසම්පදා, පටිභානපටිසම්පදා විෂය බැවින් සාර්‍ථ ය. ධම්මපටිසම්පදා, නිරුත්තිපටිසම්පදා විෂය බැවින් සබ්‍යඤ්ජන යි. (“මෙහි අර්‍ථයෙහි ප්‍රභේද ගත ඥානය අත්‍ථපටිම්භිදා නමි. අත්‍ථ, ධම්ම, නිරුත්ති, පටිසම්භිදාවන් කෙරෙහි ප්‍රභේදගත ඥානය පටිභාන පටිසම්භිදා නමි. මේ පටිභාන පටිසම්භිදාව ද අර්‍ථ විෂය හෙයින් “අත්‍ථපටිසම්භිදාවිසයතො සාත්‍ථං” යූහු. අර්‍ථසම්පත්තිය නැතහොත් පටිභානපටිසම්භිදාව නො වන බැවින් ධර්‍ම නම් පෙළ ය; නිරුත්ති නම් පාළිපාදයන් නිර්‍ධාරණය කොටැ වචනය යි. එහි ප්‍රභේදගතඥානයෝ ධර්‍ම-නිරුක්ති ප්‍ර‍තිසංවිත් නම් වෙත් නු යි. “ධම්ම-නිරුත්ති පටිසම්භිදාවිසයතො සව්‍යඤ්ජනා”යි කීහු. බ්‍යඤ්ජනසම්පත්තියක් නැතහොත් ධම්ම නිරුත්ති පටිසම්භිදාවන් නො වන බැවිනි” යනු සන්න යි.)

 

පණ්ඩිතයන් විසින් දත යුතු බැවින් පරීක්‍ෂක ජනයාගේ චිත්තප්‍ර‍සාදය එළවා නු යි සාර්‍ථ ය. ඇදහිය යුතු බැවින් ලෞකික ජනයාගේ චිත්තප්‍ර‍සාදය එළවා නු යි සබ්‍යඤ්ජන යි.

 

ගැඹුරු අදහස් ඇති බැවින් සාර්‍ථ ය. නො ගැඹුරු පද ඇති බැවින් සබ්‍යඤ්ජන යි.

 

ඌනය යි ඇතුළු කළ යුත්තක් නැති වැ සියල්ලෙන් සම්පූර්‍ණ බැවින් සර්‍වසම්පූර්‍ණ ය. අධිකය යි බැහැර කළ යුත්තක් නැති වැ සියල්ල නිර්‍දොශ බැවින් පිරිසිදු යි.

 

තව ද ශීලවිශුද්ධි ආදි සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් අධිගමය ව්‍යක්ත වන බැවින් සාර්‍ථ ය. පර්‍ය්‍යාප්තියෙන් ආගමය ව්‍යක්ත වන බැවින් සබ්‍යඤ්ජන ය. ශීලාදි පඤ්චධර්‍මස්කන්‍ධයෙන් යුක්ත බැවින් සර්‍වසම්පූර්‍ණ ය. දෘෂ්ටි - මානාදි උපක්ලේශ නැති බැවින් ද; නිවන් පිණිස පවත්නා බැවින් ද, ලෝකවිෂයෙහි අපේක්‍ෂා නැති බැවින් ද පිරිසිදු යි.

 

මෙසේ සාර්‍ථ, සව්‍යඤ්ජන, සර්‍ව සම්පූර්‍ණ, පිරිසිදු බ්‍ර‍හ්මචර්‍ය්‍යාව ප්‍ර‍කාශ කරන බැවින් ධර්‍මය ස්වාක්ඛාත වන්නේ ය.

 

ස්වාක්ඛාත යන්නෙහි තව ද අර්‍ථ පක්‍ෂයෙක් මෙසේ ය.

 

බුදුරජාණන් වහන්සේ වදාළ ධර්‍මයාගේ අර්‍ථ විපර්‍ය්‍යාසයෙක් කිසිකලෙකුදු නො වන්නේ ය. එ බැවින් “සුට්ඨු අක්ඛාත” මොනවට වදාළේ ය යන අර්‍ථයෙන් ස්වාක්ඛාත වේ.

 

ඒ එසේ මැ යි :-

 

අන්‍ය තීර්‍ථකයන් ගේ ධර්‍ම පිළිබඳ අර්‍ථ විපර්‍ය්‍යාස වේ. ඔවුන් අන්තරායකර යයි කී ධර්‍ම අන්තරායකර නොවේ. නෛර්‍ය්‍යානික ය යි කී ධර්‍ම නෛර්‍ය්‍යාණික නො වේ. එයින් ඔවුන්ගේ ධර්‍ම දුරක්ඛාත ය. ස්වාක්ඛාත නො වේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්‍මයාගේ අර්‍ථ එසේ විපර්‍ය්‍යාස නො වේ. අන්තරායකරය යි වදාළ ධර්‍ම අන්තරායකර ම ය. නෛර්‍ය්‍යාණිකය යි වදාළ ධර්‍ම නෛර්‍ය්‍යාණික ම ය. එය කිසි කලෙක වෙනස් නො වන්නේ යි.

 

මේ දැක්වුණේ පර්‍ය්‍යාප්ති ධර්‍මය ස්වාක්ඛාත පරිදි යි.

 

ලෝකෝත්තර ධර්‍ම වනාහි නිර්‍වාණයට අනුරූප වූ ප්‍ර‍තිපත්තිය ද, ප්‍ර‍තිපත්තියට අනුරූප වූ නිර්‍වාණය ද වදාළ බැවින් ස්වාක්ඛාත ය කීයේ මැ යි :- සුපඤ්ඤත්තා ඛො පන තෙන භගවතා සාවකානං නිබ්බාණගාමිනි පටිපදා, සංසන්‍දති නිබ්බාණං ච පටිපදා ච, සෙය්‍යථාපි නාම ගංගොදකං යමුනොදකෙන සංසන්‍දති සමෙති, එවමෙව සුපඤ්ඤත්තා ඛො පන තෙන භගවතා සාවකානං නිබ්බාණගාමිනී පටිපදා සංසන්‍දති නිබ්බාණංච පටිපදා ච”යි ඒ භගවත්හු විසින් ශ්‍රාවකයන්ට නිර්‍වාණගාමී ප්‍ර‍තිපදාව මනාකොටැ පණවන ලද්දේ ය. නිර්‍වාණය ද ප්‍ර‍තිපදාව ද සංසන්‍දනය වේ. සම වේ කෙසේ ද ගංගාජලය හා යමුනා ජලය හා සංසන්‍දනය වන්නාක් මෙනි. සම වන්නාක් මෙනි, යනු එහි භාව යි. (මෙයින් මාර්‍ග හා නිර්‍වාණ අන්‍යොන්‍ය අනුරූප බැවින් ස්වාක්ඛාත බව හැඟවූහ. ඉක්බිති ත්‍රිවිධ ලෝකෝත්තර ධර්‍මයන්ගේ ස්වාක්ඛාත බව දක්වත්.) ආර්‍ය්‍යමාර්‍ග අනතද්‍වයයට නො පැමිණ මධ්‍යම ප්‍ර‍තිපදා වූයේ ම මධ්‍යම ප්‍ර‍තිපදා ය යි කියන ලද බැවින් ස්වාක්ඛාත ය. ආර්‍ය්‍යඵල සංසුන් කිලෙස් ඇත්තේ ම සංසුන් කෙලෙස් ඇතැයි කියන ලද බැවින් ස්වාක්ඛාත ය. නිර්‍වාණය ශාස්වත-අමෘත-ත්‍රාණ ලෙණාදි ස්වභාව ඇත්තේ ම ශාස්වත-ත්‍රාණ-ලෙණය යි වදාළ බැවින් ස්වාක්ඛාත යි.

 

මෙයින් ලෝකෝත්තර ධර්‍ම ස්වාක්ඛාත පරිදි දැක්වුණේ යි.

 

“සන්‍දිට්ඨිකො”

 

සන්‍දිට්ඨිකො - යන මෙයින් කිසි තැනෙක ආර්‍ය්‍යමාර්‍ග ද කිසි තැනෙක නවලෝකෝත්තර ධර්‍ම ද කියනු ලැබේ. ආර්‍ය්‍යමාර්‍ග සන්‍දිට්ඨික වන්නේ මෙසේ ය. ආර්‍ය්‍ය මාර්‍ග ස්වකීය සන්තානයෙහි රාගාදීන් නැති කරන බැවින් තමා විසින් ම දැක්ක යුතුය. යන අර්‍ථයෙන් සන්‍දිට්ඨික ය.

 

වදාළේ මැ යි :- “රත්තො ඛො බ්‍රාහ්මණ රාගෙන අභිභූතො පරියාදින්න චිත්තො අත්තව්‍යාබාධාය පි චෙතෙති. පරව්‍යාබාධාය පි චෙතෙති. උභයව්‍යාබාධාය පි චෙතෙති, චෙතසිකංපි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, රාගෙ පහීණෙ නෙව අත්තව්‍යාබාධාය පි චෙතෙති, න පර, උභයව්‍යාබාධාය පි චෙතෙති. න චෙතසිකංපි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති එවංපි ඛො බ්‍රාහ්මණ සන්‍දිට්ඨිකො ධම්මො හොති”[265] ‘බ්‍රාහ්මණය! රාගයෙන් රත් වූ රාගයෙන් අභිභූත වූ රාගයෙන් වළඳනා ලද්දා වූ පුද්ගල තමහට වධ පිණිස ද, මෙරමාහට වධ පිණිස ද, තමා මෙරමා යන උභයපක්‍ෂයට වධ පිණිස ද සිතන්නේ ය. චෛතසික වූත් දුක් දොම්නස් විඳින්නේ ය. රාගය ප්‍ර‍හීණ වූ කල්හි තමහට හෝ මෙරමාහට හෝ ඒ දෙපක්‍ෂයටම හෝ වධ පිණිස නොසිතන්නේ ය. චෛතසික වූත් දුක් දොම්නස් නො විඳින්නේ ය. බ්‍රාහ්මණය! මෙසේ හෙයින් ධර්‍මය සන්‍දිට්ඨික යි යනු එහි අර්‍ථ යි. මෙහි ධර්‍ම නම් මාර්‍ග ධර්‍ම යි දත යුතු ය.

 

නව විධ වූ ම ලෝකෝත්තර ධර්‍ම සන්‍දිට්ඨික වන්නේ මෙසේ ය.

 

නව විධ ලෝකෝත්තර ධර්‍ම යම් යම් කෙනෙකුන් විසින් අධිගත නම් ඔවුන් ඔවුන් විසින් පරශ්‍ර‍ද්ධායෙන් නො ගොස් ප්‍ර‍ත්‍යවෙක්‍ෂාඥානයෙන් තමා විසින් ම දැක්ක යුතු ය. එබැවින් සන්‍දිට්ඨික යි.

 

තව ද ප්‍ර‍ශස්ත වූ දෘෂ්ටිය සන්දෘෂ්ටිය සන්දෘෂ්ටියෙන් දිනන්නේ සංන්දෘෂ්ටික ය.

 

ඒ එසේ මැ යි :- ආර්‍ය්‍යමාර්‍ග සම්ප්‍ර‍යුක්ත සන්දෘෂ්ටියෙන් ද, ආර්‍ය්‍යඵල කාරණ වූ සන්දෘෂ්ටියෙන් ද, නිර්‍වාණය විෂය වූ සන්දෘෂ්ටියෙන් ද කෙලෙසුන් දිනන්නේ ය. රටින් දිනන්නා රට්ඨි වන්නා සේ නවවිධ ලෝකෝත්තර ධර්‍ම සන්දෘෂ්ටියෙන් දිනන හෙයින් සන්දෘෂ්ටික වේ.

 

තව ද දෘෂ්ට යනු - දර්‍ශනය දැක් ම ය. දෘෂ්ටය ම සංදෘෂ්ට - සංදර්‍ශනය සංදෘෂ්ටයට හෙවත් සංදර්‍ශනයට සුදුසු සංදෘෂ්ටිකය. ලෝකෝත්තර ධර්‍ම වනාහි භාවනා ප්‍ර‍තිවේධ වශයෙන් ද, ප්‍ර‍ත්‍යක්‍ෂ ප්‍ර‍තිවේධ වශයෙන් ද දක්නා ලබන්නේ ම සසර භය නවත්වා ලයි. එහෙයින් වස්ත්‍ර‍යට සුදුසු වූයේ වාස්ත්‍රික වන්නා සේ සංදෘෂ්ටයට සුදුසු වූයේ සංදෘෂ්ටික වෙයි.

 

“අකාලිකො”

 

කල් නොය වා විපාක දෙන්නේ අකාලික ය. මෙයින් මාර්‍ග ම කියනු ලබන බව දත යුතු.

 

එහි විස්තරය මෙසේ ය :- තමාගේ ඵල දීමට කාලයක් නැත්තේ අකාල ය. අකාල ම අකාලික ය. ලෞකික කුශල උපපජ්ජ වශයෙන් හෝ අපරාපරිය වශයෙන් හෝ ඵල දෙයි. දිට්ඨධම්ම වශයෙන් ඵල දෙන්නේ ත් පස් දවස්, සත් දවස් ඉක්මැ ම ඵල දෙයි. ලෝකෝත්තර කුශල වනාහි එසේ නො වැ අනතුරුවැ ම ඵල දෙයි. මාර්‍ග චිත්තය ළඟට ම ඵල චිත්තය උපදින්නේ ය.

 

තව ද ඵල දීමට දුර කාල ඇත්තේ කාලික ය. එනම් ලෞකික කුසලි. කාලික නො වන්නේ හෙවත් ඵල දීමට දුර කාල නැත්තේ අකාලික ය. මාර්‍ගයට අනතුරු වැ ම විපාක යි.

 

“එහිපස්සිකො”

 

එවු, බලවු යන මේ විධියට සුදුස්සේ එහිපස්සික ය. එ නම් නවලෝකෝත්තර ධර්‍ම යි. නවලෝකෝත්තර ධර්‍ම වනාහි ඒකාන්තයෙන් විද්‍යාමාන බැවින් ද, පිරිසිදු බැවින් ද එසේ කීමට සුදුසු ය. කිසිවකුදු නැති හිස් මිට රන්රුවන් ඇතැයි දක්වා එවු, බලවු ය යි කීමට නුසුදුසු ය. එසේ ම මළ මූ ඇති මිට කිසිවක් ඇත ද ඇත්තේ අසූචියක් බැවින් එවු, බලවු යි කීමට නුසුදුසු ය, වසාලීමට නම් සුදුසු ය. ලෝකෝත්තර ධර්‍ම වනාහි වලාකුළු රහිත අහස පූර්‍ණචන්‍ද්‍ර‍මණ්ඩලය සේ ඒකාන්තයෙන් විද්‍යාමාන බැවින් ද, පඬුවන් පලසෙක ලූ ජොතිරංගමණිය සේ ඒකාන්තයෙන් පිරිසිදු බැවින් ද එවු බලවු යයි කීමට සුදුසු ය. එබැවින් ම ඒ “එහිපස්සික” යි.

 

“ඕපනයිකො”

 

සිත්හි උපනයනය කළ යුත්තේ - එළවිය යුත්තේ - උපදවා ගත යුත්තේ ඕපනයික ය. එනම් මාර්‍ග - ඵල යි.

 

එහි විනිශ්චය මෙසේ ය:- උපනය නම් එළවීම ය. ගිනිගත් සිය සළුව හෝ හිස හෝ නො තකා භාවනා වශයෙන් ස්වසන්තානයෙහි උපනය කළ යුත්තේ ඔපනයික ය. ඒ කවරේද සෝවාන් ආදි මාර්‍ග-ඵල ධර්‍ම යි. නිර්‍වාණය වනාහි තමාගේ සිතින් උපනයයට-ප්‍ර‍ත්‍යක්‍ෂ කිරීම් වශයෙන් ඇලීමට සුදුසු ය යන අර්‍ථයෙන් ඕපනයික වේ. නැතහොත් නිර්‍වාණයට පමුණුවන හෙයින් මාර්‍ග ද ප්‍ර‍ත්‍යක්‍ෂ කටයුතු බවට පමුණුවන හෙයින් ඵල හා නිර්‍වාණ ද උපනෙය්‍ය ය. උපනෙය්‍ය ම ඕපනයික ය. (මෙයින් නව ලෝකෝත්තර ම ඕපනයික පරිදි දැක්වූහු.)

 

“පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි”

 

උග්ඝටිතඤ්ඤු ඇදි සියලු විඥයන් විසින් තම තමා කෙරෙහි ම දත යුතු. කෙසේ දත යුතු ද මා විසින් මාර්‍ග වඩන ලද්දේ ය. ඵල ලබන ලද්දේ ය. නිර්‍වාණ සාත්ක්‍ෂාත් කරන ලද්දේ ය යි දත යුතු.

 

ඒ එසේ මැ යි :- උපාධ්‍යායයන් මාර්‍ග වැඩූ කල්හි ශිෂ්‍යයාගේ කෙලෙස් ප්‍ර‍හීණ නො වේ. උපාධ්‍යයයන්ගේ ඵල සමාපත්තියෙන් ශිෂ්‍යයා සුවසේ නො වසයි. උපාධ්‍යායයන් විසින් සාත්ක්‍ෂාත් කළ නිර්‍වාණය ශිෂ්‍යයා සාත්ක්‍ෂාත් කරන්නේ නො වෙයි. නව ලෝකෝත්තර ධර්‍ම වනාහි අන්‍ය්‍යන්ගේ හිස පැළඳි ආභරණ සේ දැක්ක හැකි නො වේ. නුවණ ඇත්තන් විසින් තම තමා සිත්හි ම ලා දක්ක යුතු - වින්දනය කළ යුතු.

 

මේ ධර්‍මය අඥයන්ට අවිෂය ය. එතකුදු වුව ද ස්වාක්ඛාත ය. කුමක් හෙයින් ස්වාක්ඛාත ද සන්‍දිට්ඨික හෙයින් ස්වාක්ඛාත ය. අකාලික හෙයින් සන්‍දිට්ඨික ය. එහිපස්සික හෙයින් අකාලික ය. යමෙක් එහිපස්සික නම් ඒ ඔපනයික යි. මෙසේ ධර්‍ම ගුණ සිහිකරත් ම ඒ යෝගීහුගේ සිත රාගයෙන් ද්වේෂයෙන් අභිභූත නො වේ. ඔහුගේ සිත එකල්හි ධර්‍මය අරමුණු කොටැ ම සෘජුත්‍වයට පැමිණේ. එයින් පෙර කී සේ ම නීවරණ විෂ්කම්භන වේ. ධයානාඞ්ග උපදී. ධර්‍මය පිළිබඳ වූ ගුණග්‍රාමය ගැඹුරු බැවින් ද, නානාවිධ ගුණ සිතෙහි නැගෙන බැවින් ද අර්‍පනාප්‍රාප්ත නො වේ. උපාචාර ප්‍රාප්ත ම වේ. ඒ වූ කලි ධර්‍ම ගුණ සිහි කිරීමෙන් උපන් බැවින් ධර්‍මානුස්මෘතිය යන සංඛ්‍යාවට පැමිණේ.

 

ධර්‍මානුස්මෘතියෙහි ආනිසංස

 

මේ ධර්‍මානුස්මෘතියෙහි යෙදුණු යෝගී “මෙ බඳු ඕපනයික ධර්‍මයක් දේශනා කරන්නා වූ ද, මෙ බඳු අඞ්ගයන්ගෙන් යුක්ත වූ ද, ශාස්තෘවරයකු අතීතාංශයෙහි ද නො දකිමි. දැනුදු නො දකිමි. ඔවුන් හා සමයෙක් නැතැ”යි ධර්‍ම ගුණ දර්‍ශනයෙන් ම තත් දෙශක වූ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වේ. යටත් පැවතුම් ඇත්තේ වේ. ධර්‍මය කෙරෙහි ගරු බුහුමන් කරන්නේ ශ්‍ර‍ද්ධාදියෙන් විපුලත්‍වයට පැමිණේ. ප්‍රිති ප්‍රමෝද්‍ය බහුල කොටැ ඇත්තේ වේ. භය භෙරව ඉවසා දුක් ඉවසීමෙහි සමර්‍ථ වේ. ධර්‍මය හා එක්වැ වසමි යි යන සිත් පහළ වේ. ධර්‍ම ගුණානුස්මරණයට ස්ථාන වූ ඔහුගේ ශරීරය ද චෛත්‍ය ගෘහයක් මෙන් පූජාර්‍භ වේ. නිරුත්තර වූ ධර්‍මාවබෝධයට සිත් නැමේ. ශික්‍ෂා ව්‍යතික්‍ර‍මයට කාරණයක් පැමිණිය ද ධර්‍ම සුධර්‍මත්‍වය සිහි වීමෙන් වහා හිරි ඔතප් පහළ වේ. ඉදින් ලෝකෝත්තර ගුණ නො ලද ද සුගතිපරායන වේ.

 

“තස්මා භවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො

එවං මහානුභාවය - ධම්මානුස්සතියා සදා”

 

එ බැවින් නුවණැත්තේ මේ සා මහානුභාව ඇති ධර්‍මානුස්මෘතිය සඳහා ඒකාන්තයෙන් නිතර අප්‍ර‍මාද වඩන්නේ ය.

 

ධර්‍මානුස්මෘති භාවනා විධිය යි.

 

 

සංඝානුස්මෘතිය

 

සංඝානුස්මෘතිය වඩනු කැමැති යෝගී විසින් යට කීසේ රහසිගත වැ විවේක වැ හිඳැ “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො, ආහුනෙය්‍යො, පාහුන්‍යෙයා, දක්ඛිණෙය්‍යො, අඤ්ජලිකරණියො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස[266] යි මෙසේ ආර්‍ය්‍යසංඝයාගේ ගුණ මෙනෙහි කළ යුතු යි.

 

“සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො,”

 

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ග සුපටිපන්න ය. සුපටිපන්න නම් සම්‍යක් ප්‍ර‍තිපදාවට - අනිවර්‍තති ප්‍ර‍තිපදාවට - අනුලොම ප්‍ර‍තිපදාවට - අවිරුද්ධ ප්‍ර‍තිපදාවට - ධර්‍මානුධර්‍ම ප්‍ර‍තිපදාවට මනාව පිළිපන්නේ ය. (සම්‍යක් ප්‍ර‍තිපදා නම් යහපත් ආර්‍ය්‍යමාර්‍ග ප්‍ර‍තිපත්තිය යි. ඒ යහපත් - ආර්‍ය්‍යමාර්‍ග ප්‍ර‍තිපත්තිය ප්‍ර‍තිපක්‍ෂ වූ ක්ලේශයන් නැවත හැරී නො එන සේ දුරු කරන බැවින් අනිවර්‍තතිප්‍ර‍තිපදා නම් වේ. අවබෝධ කැරැ ගත යුතු වූ නිර්‍වාණයට ඒකාන්තයෙන් අනුලොම් වන බැවින් අනුලෝම ප්‍ර‍තිපදා නම් වේ. අනුලෝම බැවින් ම විරුද්ධ නො වන බැවින් අවිරුද්ධ ප්‍ර‍තිපදා නම් වේ. නිර්‍වාණ ධර්‍මයට අනුරූප ස්වභාව ප්‍ර‍තිපත්ති බැවින් ධර්‍මානුධර්‍ම ප්‍ර‍තිපදා නම් වේ. මෙසේ සම්‍යක් ප්‍ර‍තිපත්තියට පිළිපන් බැවින් ශ්‍රාවක සංඝ සුප්‍ර‍තිපන්න යි. ශ්‍රාවකයෝ නම් භාග්‍යවතුන්ගේ අවවාද අනුශාසනා සකසා අසන්නෝ ය. (කළ වරද දැකැ කරන ධර්‍ම දේශනා අවවාද ය. කළ වරද නො දැක ආදියෙහි ම කරන ධර්‍ම දේශනා අනුශාසන යි. කළ වරද දැකැ හෝ ආදියෙහි කරන ධර්‍ම දේශනා අවවාද ය. පසු පසු වැ කරන ධර්‍ම දේශනා අනුශාසන යි. ඒ අවවාද අනුශාසනා පරිදි පිළිපැදීමෙන් කාර්‍ය්‍යය සිදුවන බැවින් ආර්‍ය්‍ය භාවයට පමුණුවන ඇසීම සකසා ඇසීම යි. මෙයින් ආර්‍ය්‍යයෝ ම නිෂ්පර්‍ය්‍යායයෙන් ශ්‍රාවකයෝ වෙති යි දත යුතු යි.) ශ්‍රාවකයන්ගේ සංඝ - සමූහ ශ්‍රාවක සංඝ ය ආර්‍ය්‍ය සීල සමානත්‍වයෙන් හා ආර්‍ය්‍ය දෘෂ්ටි සමානත්‍වයෙන් සමූහ භාවයට පැමිණි පිරිස මෙයින් කියනු ලැබේ.

 

“උජුපටිපන්නො භගවතො සාවකසංඝො”

“ඤායපටිපන්නො භගවතො සාවකසංඝො”

“සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො”

 

‘භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝ උජුපටිපන්න ය’

‘භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝ ඤායපටිපන්න ය’

‘භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝ සාමීචිපටිපන්න ය’

 

ඒ සම්‍යක් ප්‍ර‍තිපදාව සෘජු ය, ගොමූත්‍ර‍ වංක සේ හෝ වංක නැති බැවින් අවංක ය. චන්‍ද්‍ර‍ වංක සේ වංක නැති බැවින් අකුටිල ය. නගුල් අග වංක සේ වංක නැති බැවින් අජිමභ ය. එ බඳු සෘජු - අවංක - අකුටිල - අජිම්භ ප්‍ර‍තිපදාවට පිළිපන්නේ උජුපටිපන්න ය.

 

ඒ සම්‍යක් ප්‍ර‍තිපදාව ඤාය ය. ඤාය නම් ආර්‍ය්‍ය වූ - නිර්දෝෂ උපාය යි. ඒ සම්‍යක්ප්‍ර‍තිපදා සංඛ්‍යාත ආර්‍ය්‍ය වූ නිර්දෝෂ උපායයට පිළිපන්නේ ඤායපටිපන්න ය. (“අපණ්ණක භාවෙන ඤායමිති නිබ්බාණං තං වා ඤායති පටිවිජ්ඣි තෙනා ති ඤායො” අවිරුද්ධ බැවින් ඤාය යනු නිර්‍වාණය ය. ඒ නිර්‍වාණය යමකින් ප්‍ර‍තිවේධ කරනු ලැබේ ද එය හෝ ඤායය යි එනම් සම්‍යක් ප්‍ර‍තිපදාව යි. ආර්‍ය්‍ය මාර්‍ගය යි සේ යි.)

 

ඒ සම්‍යක් ප්‍ර‍තිපදාව සාමීචි ය. සාමීචි නම් සසර දුකින් බැහැරලීමට සමර්‍ථ ය. සාමීචි සංඛ්‍යාත සසර දුකින් බැහැරලීමට සමර්ථ ප්‍ර‍තිපදාවට පිළිපන්නේ සාමීචිපටිපන්න ය.

 

මේ දැක්වුණු අර්‍ථ වශයෙන් මාර්‍ගස්ථයෝ ම සුපටිපන්න ය. ඵලස්ථායෝ වනාහි ඒ සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් ලැබගත යුත්ත ලැබැගත් බැවින් අතීත ප්‍ර‍තිපදාව ගෙනැ සුපටිපන්නයහ යි දත යුතු.

 

“මෙසේ ආදි පදයට අර්‍ථ නිර්‍දෙශ භාවයෙන් සෙසුපදයන් ගේ ද අර්‍ථ කියා ඉක්බිති සතර පදයන්ගේ අමිශ්‍ර‍ වූ අර්‍ථ දක්වති.”

 

ස්වාක්ඛාත ධර්‍ම විනයයෙහි අනුශාසනා පරිදි පිළිපන් බැවින් ද, අවිරුද්ධ ප්‍ර‍තිපදාවට පිළිපන් බැවින් සුපටිපන්න ය. උභයාන්තයට නො ගොස් මධ්‍යම ප්‍ර‍තිපදාවට පිළිපන් බැවින් ද, කය-වචන-සිත යන තන්හි ඇද-කුද දුරු කිරීම පිණිස පිළිපන් බැවින් ද උජුපටිපන්න ය. ඤාය නම් නිර්‍වාණය යි. ඒ ඤාය පිණිස පිළිපන් බැවින් ඤායපටිපන්න ය. යම් පරිදි පිළිපන් කෙනෙක් අනුන් විසින් කරනු ලබන උපස්ථානාදි සාමීචියට සුදුසු වෙද් ද එසේ පිළිපන් බැවින් සාමීචිපටිපන්න යි.

 

“යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො, ආහුනෙය්‍යො, පාහුනෙය්‍යා, දක්ඛිණෙය්‍යො, අඤ්ජලිකරණියො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.”

 

‘යම් මේ පුරිස යුග සතරෙක් වේ ද පුරුෂ පුද්ගලයෝ අටදෙනෙක් වෙද් ද, භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රාවක සංඝ ආහුනෙය්‍ය ය, පාහුනෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජලිකරනීය ය. ලෝකයාගේ නිරුත්තර පුණයක්‍ෂෙත්‍ර‍ යි.

 

පුරිස යුග සතර නම් - සොතාපත්ති මාර්‍ගස්ථ-ඵලස්ථ එක් පුරිස යුගයෙක සකෘදාගාමි මාර්‍ගස්ථ-ඵලස්ථ එක් පුරිස යුගයෙක අනාගාමි මාර්‍ගස්ථ-ඵලස්ථ එක් පුරිස යුගයෙක. අර්‍හත් මාර්‍ගස්ථ ඵලස්ථ එක් පුරිස යුගයෙකි.

 

පුරුෂ පුද්ගලයෝ අටදෙන නම් තෙලේ සතර යුග වෙන් වෙන් වූවෝ යි. පුරුෂයනුදු පුද්ගලයනුදු ඒකාර්‍ථ යි. වේනෙය්‍ය වශයෙන් මෙසේ එක් කොටැ වදාරන ලදී.

 

යුග වශයෙන් සතරෙක් ද, පුද්ගල වශයෙන් අටෙක් ද වූ මේ භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝ ආහුනෙය්‍ය ය. ආහුන යනු ගෙනවුත් දිය යුත්ත ය. දුරින් හෝ ගෙනවුත් සිල්වතුන් කෙරෙහි දිය යුතු සිව්පස ආහුනය යි කී සේ යි. ඒ ආහුනයට සුදුස්සේ ආහුණෙය්‍ය ය. පිළිගැන්වූවනයට මහත් ඵල සිද්ධ කරන බැවිනි. තවද දුර සිටැ හෝ අවුත් සියලු වස්තුව යම් තැනෙක හෝම කළ යුතු ද - පිදිය යුතු ද, ඒ ආභවනීය ය. ශක්‍රාදීන් විසින් පවා හෝම කළ යුතු. පිදිය යුතු දානයට සුදුසු වූයේ හෝ ආහවනීය ය. බ්‍රාහ්මණයන්ගේ ආහවනීය නම් වූ ගින්න හෝම කරන ලද්දේ මහත් ඵල දෙන්නේ යයි ඔව්හු විශ්වාස කරති. එසේ ම සංඝයා ද පුදන ලද්දේ මහත් ඵල දෙන්නේ ය. වදාළේ මැ යි.

 

“යො චෙ වස්සසතං ජන්තු - අග්ගිං පරිවරෙ වනෙ

එකං ච භාවිතත්තානං - මුහුත්තමයි පූජයෙ

සා යෙව පූජනා සෙය්‍යො - යං චෙ වස්සසතං හුතං”[267]

 

‘යම් මනුෂ්‍යයෙක් ශත වර්‍ෂයක් මුළුල්ලෙහි වල්හි වසමින් ගිනි දෙවියා පුදන්නේ ද, යම් මනුෂ්‍යයෙක් එක මොහොතකුදු භාවිතාත්මයන් පුදන්නේ ද අර ශත වර්‍ෂ පූජාවට වඩා මේ මුහුර්‍ත පූජාව ශ්‍රෙෂ්ඨ ය’ යනු අර්‍ථ යි.

 

සර්‍වාස්තිවාදි නිකායිකයෝ ආභවනීය යනු ආහුනෙය්‍ය වී යයි කියති. ව්‍යඤ්ජන වශයෙන් එහි මඳ වෙනසෙක් ඇත ද අර්‍ථ වශයෙන් සමාන යි.

 

“පාහුනෙය්‍යා”

 

පාහුන නම් දිශානුදිශායෙන් පැමිණෙන ප්‍රිය මනාප ඥාති මිත්‍ර‍යන් උදෙසා ගෞරවයෙන් පිළියෙළ කළ ආගන්තුක භෝජනය යි. එය ඔවුන්ට නො දී පවා සංඝයාට දිය යුතු ය. සංඝයාම එය පිළිගන්නට සුදුසු ය. සංඝයා බඳු පාහුතකයන් නැති බැවිනි.

 

ඒ එසේ මැ යි:- සංඝයා වනාහි එක් බුද්ධාන්තරයක් ඉක් මැ ගිය කල්හිම, අසංඛ්‍ය ගණන් කල්ප ඉක්ම ගිය කල්හි ම දැකැ ගන්නට ලැබේ. සෙසු පාහුනකයෝ මුළු දා දැක්ක හැකි ය. එසේ ම සංඝයා ප්‍ර‍තිපක්‍ෂයන් විසින් අසම්මිශ්‍ර‍ ය. ප්‍රිය මනාප බැව් වඩන ශීලාදි ධර්‍මයෙන් සමන්විත ය. මෙසේ පාහුනය දෙන්නට සුදුසු ය, පාහුනය පිළිගන්නට සුදුසු ය. යන අර්‍ථයෙන් සංඝයා පාහුනෙය්‍ය වේ. (“ඥාති මිත්‍රයෝ විප්‍ර‍වාසයට ගියාහුද නොබෝ කලකින් ම එති. ඔවුන් කෙරෙහි ප්‍රිය මනාප බව ද අනවස්ථිත ය. ආර්‍ය්‍ය සංඝයා කෙරෙහි වනාහි නො එසේ නු යි. සංඝ තෙමේ පාහුනෙය්‍ය නම් වේ” යනු අභිප්‍රාය යි.

 

ඇතැම්හු “පාහුනෙය්‍යො” යනු පාභවනීයො” යි කියති. සියල්ලට පළමු වැ ගෙන වුත් හෝම කළ යුතු ය, පිදිය යුතු ය. යනු එහි අර්‍ථ යි. සංඝයා පූර්‍වකාරයට සුදුස්සේ ය. සර්‍වප්‍ර‍කාරයෙන් හෝ පිදිය යුත්තේ පාභවනීය ය. (මුල තන්හි ප කාරය ආදි කමාර්‍ථ ය දෙවන තන්හි ප්‍ර‍කාරාර්‍ථ යි) පාහුනෙය්‍යො යනුදු ඒ අර්‍ථයෙන් කියනු ලැබේ.

 

“දක්ඛිණෙය්‍යො”

 

දක්ඛිණා නම් පරලොව සුව තකා දිය යුතු දානය යි. දක්ඛිණාවට සුදුසු වූයේ හෝ දක්ඛිණාවට හිත වූයේ හෝ දක්ඛිණෙය්‍ය ය. සංඝයා වනාහි මහත් ඵල කිරීම් වශයෙන් දක්‍ෂිණාව පිරිසිදු කරන්නේ යි.

 

“අඤ්ජලිකරණීයො”

 

දොහොත් මුදුණෙහි තබා සියලු ලෝකයා විසින් කරනු ලබන අඤ්ජල කර්‍මයට සුදුසු වූයේ අඤ්ජලිකරණීය යි.

 

“අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස”

 

ලෝකයාගේ නිරුත්තර පින් කෙත ය. අසදෘශ වූ පින් පල දෙන ස්ථානය යි සේ යි. රජ්ජුරුවන්ගේ හෝ ඇමතියන්ගේ හෝ හැල් හෝ යව හෝ පැලවෙන තැන රජ්ජුරුවන්ගේ හැල් කෙත ය යව කෙත ය, ඇමැතියන්ගේ හැල්කෙත යව කෙත යි කියන්නා සේ සියලු ලෝකයාගේ පින් පැලවෙන තැන ලෝකයාගේ පින් කෙතය යි කියත්. සංඝයා නිසා ලෝකයාගේ නානාවිධ හිතසුව එළවන පින් නැඟෙන්නේ ය. එහෙයින් සංඝයා ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර‍ය යි.

 

මෙසේ සුපටිපන්නතාදි සංඝ ගුණ සිහිකරත් ම ඒ යෝගීහුගේ සිත රාගයෙන්, ද්වේෂයෙන් මෝහයෙන් අභිභූත නො වන්නේ ය. සෘජු ම වන්නේ ය. එයින් නීවරණ විෂ්කම්භනය වන්නේ ය. නීවරණ විෂ්කම්භනය වත් ම එවිට ම ධ්‍යානාඞ්ග උපදනේ ය. සංඝගුණ ගැඹුරු බැවින් ද, නානාවිධ සංඝ ගුණ සිහිවන බැවින් ද ධ්‍යානය අර්‍පනා ප්‍රාප්ත නො වැ උපචාර ප්‍රාප්ත වන්නේ ය. සංඝ ගුණ සිහි කිරීමෙන් ලැබුනු බැවින් මෙය සංඝානුස්මෘතිය යි කියනු ලැබේ.

 

මේ සංඝානුස්මෘති භාවනායෙහි යෙදුණු යෝගාවචර සංඝයා කෙරෙහි සගෞරව, සප්පතිස්ස වන්නේ ය. ශ්‍ර‍ද්ධාදියෙන් විපුලත්‍වයට පැමිණෙන්නේ ය. ප්‍රීති-ප්‍රමොද්‍ය බහුල වැ භයහෙරවසභ වැ දුක් ඉවසීමෙහි ද සමර්‍ථයෙක් වන්නේ ය. සංඝයා සමග සහවාස සංඥාව ලබන්නේ ය. සංඝානුස්මෘතියෙන් යුත් ඔහුගේ ශරීරය පවා සංඝයා රැස් වූ පොහෝ ගෙයක් මෙන් පූජාර්‍භ වන්නේ ය. සංඝගුණාධිගමය සඳහා ඔහුගේ සිත නැමෙන්නේ ය. ශික්‍ෂා ව්‍යතික්‍ර‍මයක් සඳහා සිත නැඟෙත්ම සංඝයා සම්මුඛයෙහි පෙනී ගියා සේ හිරි-ඔතප් එළඹැ සිටින්නේ ය. මතු ධ්‍යාන-මාර්‍ග - ඵල නොලබන්නේ සුගතිගාමි වන්නේ යි.

 

“තස්මා භවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො,

එවං මහානුභාවාය - සංඝානුස්සතියා සදා.”

 

‘මෙසේ හෙයින් මහානුභාව ඇති සංඝානුස්මෘතිය සඳහා සුප්‍රාඥ එකාන්තයෙන් අප්‍ර‍මාද වන්නේ යි’

 

සංඝානුස්මෘති භාවනා විධිය යි.

 

ශීලානු ස්මෘතිය

 

ශීලානුස්මෘතිය වඩනු කැමති යෝගී විසින් රහසිගත වැ විවෙක වැ හිඳ “අහො වත මෙ සීලානි අඛණ්ඩානි, අව්ජිද්දානි, අසබලානි, අකම්මාසානි, භූජිස්සානි, විඤ්ඤුප්පසත්‍ථානි, අපරාමට්ඨානි, සමාධි සංවත්තනිකානි.” “සාධු! සාධු!1 මගේ සිල් අඛණ්ඩ ය, අච්ජිද්‍ර‍ ය, අසබල ය, අකල්මාෂ ය, භූජිස්ස ය, විඤ්ඤුප්පසත්‍ථය, අපරාමට්ඨය, සමාධි සංවත්තනිකය’යි අඛණ්ඩතාදි ගුණ වශයෙන් ස්වකීය සිල් සිහිකළ යුතු. ගිහියා විසින් ගිහි සිල් සිහි කළ යුතු. පැවිද්දා විසින් පැවිදි සිල් සිහි කළ යුතු යි. (අනුන්ගේ සිල් සිහි කෙළේ ප්‍රිය මනාප භාවය එළවන බැවින් හුදෙක් මෛත්‍රියට පදස්ථාන වේ. වෙන වෙනම කමටහන් නො වේ. එ බැවින් තමාගේ සිල් සිහි කළ යුතු ය ය කීහ.)

 

ගිහි වූ හෝ පැවිදි වූ හෝ යමකුගේ ශීලයෙහි කොන් කැඩුණු වස්ත්‍රයෙක මෙන් මුලින් හෝ අගින් හෝ එක ශික්‍ෂාපදයකු දු නො කැඩුණේ ද ඒ අඛණ්ඩ ය.

 

මැද සිදුරු වූ වස්ත්‍ර‍යක් මෙන් මැද එක ශික්‍ෂාපදයකුදු නො බිඳුණේ ද එය අච්ඡිද්‍ර‍ ය.

 

පිටෙහි හෝ කුසෙහි හෝ නැගී දික් - වට ආදි සටහන් ඇති කලු - රතු ආදි විසභාග වර්‍ණයෙන් යුත් ගව දෙනක මෙන් පිළිවෙළින් ශික්‍ෂාපද දෙක-තුන නො බිඳුනේ ද ඒ අසබල ය.

 

විසභාග බින්‍දුයෙන් විසිතුරු වූ - තිත් ඉසුණු ගව දෙනක මෙන් අතර අතර ශික්‍ෂාපද නො බිඳුණේ ද එය අකල්මාෂ ය.

 

තවද සාමාන්‍ය වශයෙන් කියත්හොත් සප්තවිධ මෛථුනයෙන් හෝ කෝධ-උපනාහ ආදි පාප ධර්‍මයෙන් හෝ අනුපහත වූ සියලු සීල අඛණ්ඩ ය, අච්ඡිද්‍ර‍ ය, අසබල ය, අකල්මාෂ යි.

 

ඒ අඛණ්ඩාදි ශීල ම තෘෂ්ණා දාසත්‍වයෙන් මිදී සෛවරී භාවය කරන හෙයින් භූජිස්ස ය. තෘෂ්ණා දාසත්‍වයෙන් මිදීම නිවන් අරමුණු කිරීම යි.

 

බුද්ධාදි නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද හෙයින් විඤ්ඤුප්පසත්‍ථ ය. “මම මේ ශීලයෙන් දෙවියෙක් වන්නෙමි”. යනාදීන් තෘෂ්ණායෙන් හෝ “ශීලයෙන් ශුද්ධිය වන්නේ ය” යනාදීන් දෘෂ්ටියෙන් හෝ පරාමර්‍ශනය නො කරන ලද බැවින් අපරාමට්ඨය. නැතහොත් “තාගේ ශීලයෙහි මේ මේ දොස් ඇතැයි”යි කිසිවකු විසින් පරාමර්‍ශනය නො කළ හැකි බැවින් අපරාමට්ඨ ය.

 

උපචාරසමාධි - අර්‍පනාසමාදි පිණිස හෝ මාර්‍ග සමාධි - ඵල සමාධි පිණිස හෝ පවත්නා බැවින් සමාධිසංවත්තනික ය.

 

මෙසේ අඛණ්ඩතාදි වශයෙන් ස්වකීය සිල් සිහිකරත් ම ඒ යෝගීහු ගේ සිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අතිභූත නො වන්නේ ය. එවිට ඔහුගේ සිත ඒ අරමුණු කොටැ සෘජු ම වන්නේ ය. ඉක්බිති පෙර කී සේ ඔහුගේ සිතෙහි නීවරණ විෂ්කම්භනය වන්නේ ය. නීවරණ විෂ්කම්භනය වත් ම ධ්‍යානාඞ්ග උපදනේ ය. ශීල ගුණ ගැඹුරු බැවින් ද, නා නා ප්‍ර‍කාර වශයෙන් ශීල ගුණ පිළිබඳ අදහස් පහළ වන බැවින් ද ධ්‍යානය අර්පණා ප්‍රාප්ත නො වැ උපචාර ප්‍රාප්ත ම වන්නේ ය. ශීල ගුණ සිහි කිරීමෙන් උපන් බැවින් එයට ශීලානුස්මෘතිය යි කියනු ලැබේ.

 

මේ ශීලානුස්මෘතියෙහි යෙදෙන යෝගාවචර ශික්‍ෂාවෙහි ගෞරව කරන්නේ ය. සිල්වතුන් හා සභාග පැවතුම් ඇතියෙක් වන්නේ ය. ධර්‍මාමිෂ පටිසත්‍ථාරයෙහි නො පමා වන්නේ ය. අත්තානුවාදාදි බියෙන් මිදුණේ වන්නේ ය. ස්වල්ප මාත්‍ර‍ වරදෙහි ද බිය සුලු වන්නේ ය. ශ්‍ර‍ද්ධාදීන්ගේ විපලත්‍වයට පැමිණෙන්නේ ය. ප්‍රීති ප්‍රමොද්‍ය බහුල වන්නේ ය. මතු මාර්‍ග-ඵල නො ලබන්නේ සුගති පරායණ වන්නේ යි.

 

“තස්මා භවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො

එවං මහානුභාවාය - සීලානුස්සතියා සදා.”

 

‘මෙසේ හෙයින් ශිලානුස්මෘතිය සඳහා සුප්‍රාඥ ඇම කල්හි අප්‍ර‍මාද වන්නේයි’

 

ශීලානුස්මෘති භාවනා විධිය යි.

 

ත්‍යාගානුස්මෘතිය

 

ත්‍යාගානුස්මෘතිය වඩනු කැමැති යෝගී විසින් ස්වභාවයෙන් ම දන් දීමෙහි සෑදුණකු පැහැදුණකු විය යුතු. දන් දීමෙහි දානසංවිභාගයෙහි නිතර යෙදුණකු විය යුතු.

 

තව ද ත්‍යාගානුස්මෘති භාවනාව වඩනු කැමැති යෝගී විසින් ඒ භාවනාව ආරම්භ කරන දිනයෙහි “දැන් ඉතින් මෙ තැන් පටන් ප්‍ර‍තිග්‍රාහකයකු ලදහොත් එක් පිඬකුදු නො දී නො වළඳමි”යි සමාදන් වැ ගෙනැ එ දින ම ගුණවත් ප්‍ර‍තිග්‍රාහකයකු හට ස්වකීය ශක්ති පරිදි - ස්වකීය බල පරිදි දානයක් දී ඒ දුන් දානය නිමිති කොටැ ගෙනැ රහසිගත වැ විවේක වැ හිඳැ “ලාභා වත මෙ! සුලද්ධං වත මෙ! සො‘හං මච්ඡෙරමලපරියුට්ඨිතාය පජාය විගතමලමච්ඡෙරෙන චෙතසා විහරාමි මුත්තචාගො පයත පාණී වොස්සග්ගරතො යාචයාගො දානසංවිභාගරතො[268] යි මෙසේ විගතමලමචේඡරතාදි ගුණ වශයෙන් ස්වකීය ත්‍යාගය මෙනෙහි කළ යුතු යි.

 

ලාභා වත මෙ - මට ඒකාන්තයෙන් ලාභයෙක. “ආයුං ඛොපන දත්‍වා ආයුස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා.”[269] ‘ආයුෂ දී දිව්‍යමය වූ ද, මනුෂ්‍යමය වූ ද ආයුෂයට භාගී වන්නේ ය’ යනාදි වශයෙන් ද “දදං පියො හොති භජන්ති නං බහූ”[270] ‘දන්දෙන්නේ ලොවට ප්‍රිය වන්නේ ය, ඔහු බොහෝ දින භජනය කරන්නාහ යනාදි වශයෙන් ද “දදමානො පියො හොති සතං ධම්මමනුකම්මං”3 ‘සත්පුරුෂයන්ගේ ධර්‍මය නොඉක්මවන්නේ දන් දෙන්නේ ලොවට ප්‍රිය වන්නේ ය’ යනාදි වශයෙන් ද භගවත් බුදුන් විසින් දන් දෙන්නහු පිළිබඳ යම් ලාභ කෙනෙක් වර්‍ණනා කරන ලද නම් ඒ ලාභ මට ඒකාන්තයෙන් වන්නේ ය යන අදහස යි.

 

සුලද්ධං වත මෙ - ‘මා විසින් යම් බුදු සස්නෙක් හෝ මිනිසත් බවෙක් හෝ ලබන ලද නම් එය ඒකාන්තයෙන් මනා වැ ලබන ලද්දේ ය, කුමක් හෙයින් ද මසුරුමලින් අභිභූත සත්ත්‍වයන් අතුරෙහි මම මසුරුමලින් මිදී ගත් සිතින් වසමි, මුත්තචාගයෙමි, පයතපාණියෙමි, වොස්සග්ගරතයෙමි, යාචයෝගයෙමි, දාන සංවිභාගරතයෙමි, එහෙයිනි.

 

සො’හං - ඒ මම

 

මච්ඡෙරමල පරියුට්ඨිතාය පජාය - මසුරුමලෙන් අභිභූත වූ සත්ත්‍වයන් අතුරෙහි (ස්වකීය සම්පත් අන්‍යයන් හා සාධාරණ බව නො ඉවසීම ලක්‍ෂණ කොටැ ඇති මසුරු බව සිතෙහි දීප්තිය දුෂ්‍ය කරන පාප ධර්‍ම අතුරෙන් එකක් බැවින් මලය යි කියනු ලැබේ.)

 

විගතමල මච්ඡෙරෙන චෙතසා විහරාමි - සෙසු රාගදෝසාදි මල ද මසුරු බව ද විගත වූ සිතින් යුතු වැ වාසය කරමි. මහානාම සූත්‍රයෙහි වනාහි, “විගතමල මච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවාසාමි”[271]යි වදාළේ ය. එහි එසේ වදාළේ මහානාම ශාක්‍යයා විසින් සෝවාන් වූවහුගේ නිශ්‍ර‍ය විහාර විචාළ බැවින් එයට අනුරූප වශයෙනි.

 

මුත්තචාගො - දෙන දෙය අල්ලා නො ගැනීම් වශයෙන් මුදා හරන ලද ත්‍යාග ඇත්තේ, යමෙක් කිසිවක් දෙන්නේ සාපෙක්‍ෂ වැ දේ නම් ඒ මුත්තචාග නො වේ.

 

පයතපාණි - පිරිසිදු කර ගත් අත් ඇත්තේ සියතින් සකසා දන්දෙනු පිණිස ඇම දා සෝදා ගත් අත් ඇත්තේ ය යි සේ යි.

 

වොස්සග්ගරතො - වොස්සග්ගයෙහි ඇළුණේ. වොස්සග්ග නම් පරිත්‍යාගය යි සත්තාභියොග වශයෙන් පරිත්‍යාගයෙහි ඇළුණේ ය යි සේ යි.

 

යාචයොගො - අන්‍යයන් විසින් ඉල්ලූ දෙය දෙන බැවින් යාචනයට යෝග්‍ය ය “යාජයොග” යි ද මේ ලියති. යජනන් දීමෙන් යුක්ත වූ යේ ය යනු අර්‍ථ යි.

 

දාන සංවිභාගරතො - දානයෙහි ද, සංවිභාගයෙහි ද ඇළුණේ මම දන් ද දෙමි. මා විසින් පරිභෝග කළ යුත්තෙන් කොටස් ද බෙදමි යි මෙසේ දෙක්හි මැ ඇළුණේය යි සේ යි.

 

මෙසේ විගතමල මච්ඡේරතාදි වසයෙන් ස්වකීය ත්‍යාග ගුණය සිහි කරත් ම ඒ යෝගීහුගේ සිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අභිභූත නො වන්නේ ය. ත්‍යාගය අරමුණු කොටැ ඔහුගේ සිත එ කල්හි සෘජු වන්නේ ය. පෙර සේ නීවරණ විෂ්කම්භනය වත් ම ධ්‍යානාඞ්ග උපදනේ ය. ත්‍යාග ගුණ ගැඹුරු බැවින් ද ‘නානාවිධ ත්‍යාග ගුණ සිහිවන බැවින් ද ධ්‍යානය අර්පණා ප්‍රාප්ත නො වැ උපචාර ප්‍රාප්ත ම වන්නේ ය. ත්‍යාග ගුණය සිහි කිරීමෙන් ්ලත් බැවින් එය ත්‍යාගානුස්මෘතිය යි කියනු ලැබේ.

 

මේ ත්‍යාගානුස්මෘතියෙහි යෙදුණු යෝගාවචර බොහෝ සෙයින් ත්‍යාගාධිමුක්ත වේ. නිර්‍ලොභ අදහස් ඇත්තේ වේ. මෛත්‍රියට අනුලොම් වැ හැසිරේ. විශාරද වේ. ප්‍රීති ප්‍රමොද්‍ය බහුල වේ. මතු ධ්‍යාන - මාර්‍ග ඵල නො ලබන්නේ සුගති පරායන වේ.

 

“තස්මා භවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො

එවං මහානුභාවාය - චාගානුස්සතියා සදා”

 

‘එසේ හෙයින් මහත් අනුභාව ඇති ත්‍යාගානුස්මෘතිය සඳහා සුප්‍රාඥ ඒකාන්තයෙන් අප්‍ර‍මාද වන්නේ ය’

 

ත්‍යාගානුස්මෘති භාවනා විධිය යි.

 

දේවතානුස්මෘතිය

 

දේවතානුස්මෘතිය වඩනු කැමැති යෝගී ආර්‍ය්‍ය මාර්‍ග වශයෙන් අධිගත ශ්‍ර‍ද්ධාදි ගුණයෙන් යුක්ත විය යුතු. එසේ වූ ඔහු විසින් රහසිගත වැ විවේක වැ හිඳැ චාතුර්‍මහාරාජික නම් දෙවියෝ ඇත්තාහ. තාවතිංස නම් දෙවියෝ ඇත්තාහ. යාම - තුසිත - නිම්මාණරති - පරනිම්මිතවසවත්ති නම් දෙවියෝ ඇත්තාහ. බ්‍ර‍හ්මකාහික දෙවියෝ ඇත්තාහ. එයින් මතු පරිත්තාභාදි තව ද දෙවියෝ ඇත්තාහ. යම් බඳු වූ ශ්‍ර‍ද්ධාවෙකින්, ශීලයෙකින්, ශ්‍රැතියෙකින්, ත්‍යාගයෙකින්, ප්‍ර‍ඥාවෙකින් සමන්විත වැ ඒ දෙවියෝ මෙයින් චුත වැ එහි උපන්නාහු ද මට ද එ බඳු වූ ශ්‍ර‍ද්ධා - ශීල - ශ්‍රැත - ත්‍යාග - ප්‍ර‍ඥා ඇත්තේ ය’යි මෙසේ දෙවියන් ශාක්‍ෂ්‍ය තබා තමන් ගේ ශ්‍ර‍ද්ධාදි ගුණ සිහි කළ යුතු යි.

 

සූත්‍රයෙහි :- “යස්මිං මහානාම සමයෙ අරියසාවකො අත්තනො ච තාසං ච දෙවතානං සද්ධං ච සීලං ච සුතං ච චාගං ච පරිඤ්ඤං ච අනුස්සරති, නෙව තස්මිං සමයෙ රාග පරියුට්ඨිත චිත්තං හොති”[272] ‘මහානාමය! යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවක තමාගේ ද, ඒ දෙවියන්ගේ ද ශ්‍ර‍ද්ධා-ශීල-ශ්‍රැත-ත්‍යාග-ප්‍ර‍ඥා සිහි කෙරේ ද එකල ඔහුගේ චිත්තය රාගාභිභූත නො වේ’ ය යි වදාළ නමුදු දෙවියන්ගේ ඒ ශ්‍ර‍ද්ධාදි ගුණ ශාක්‍ෂ්‍ය කොටැ ගත යුතු යි. සූත්‍රයෙහි එසේ වදාළේ දෙවියන්ගේ ශ්‍ර‍ද්ධාදි ගුණ තමාගේ ශ්‍ර‍ද්ධාදි ගුණ හා සම බව දක්වනු පිණිස ය. “දේවතා සක්ඛිට්ඨානෙ ඨපෙත්‍වා අත්තනො ගුණෙ අනුස්සරති.” ‘දෙවියන් ශාක්‍ෂ්‍ය තන්හි තබා තමා ගුණ සිහි කෙරේය’ යි අටුවායෙහි එය ස්ථිර වශයෙන් කියන ලදි. එහෙයින් දෙවියන් ගේ ශ්‍ර‍ද්ධාදි ගුණ සිහි කොටැ පසු වැ තමාගේ ශ්‍ර‍ද්ධාදි ගුණ සිහි කළ යුතු යි. එසේ සිහි කරත් ම ඔහුගේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අභිභූත නො වේ. එකල දෙවියන් අරබයා ඔහුගේ සිත සෘජු ම වේ. එයින් පෙර කී සේ නීවරණ විෂ්කම්භන වේ. එවිට ම ධ්‍යානාඞ්ග උපදී. ශ්‍ර‍ද්ධාදි ගුණ ගැඹුරු බැවින් ද, නානාවිධ ගුණ සිහිවන බැවින් ද ධ්‍යානය අර්පණා ප්‍රාප්ත නො වැ උපාචාර ප්‍රාප්ත ම වන්නේ ය. එය වනාහි දෙවියන්ගේ බඳු තමන්ගේ ගුණ සිහි කරන බැවින් දේවතානුස්මෘතිය යි කියනු ලැබේ.

 

දේවතානුස්මෘතිය වඩන යෝගාවචර දෙවියන්ට ප්‍රිය වේ. මනාප වේ. බොහෝ සෙයින් ශ්‍ර‍ද්ධාදීන්ගේ විපුලත්‍වයට පැමිණේ. ප්‍රීති-ප්‍රමොද්‍ය බහුල වැ වෙසේ. මතු ධ්‍යාන මාර්‍ග-ඵල නො ලබන්නේ - සුගති පරායන වේ.

 

“තස්මා භවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො

එවං මහානුභාවාය - දෙවානුස්සතියා සදා”

 

‘එසේ හෙයින් මහානුභාව ඇති දේවතානුස්මෘතිය සඳහා සුප්‍රාඥ ඒකාන්තයෙන් අප්‍ර‍මාද වන්නේ යි.’

 

දේවතානුස්මෘති භාවනා විධිය යි.

 

ඡානුස්සතිය පිළිබඳ විශේෂ විභාගයෙක්

 

මේ ඡානුස්සතිය පිළිබඳ විස්තරයක් මහානාම සූත්‍රයෙහි වදාළේ ය. එහි බුද්ධානුස්සතිය වදාළ තන්හි “උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති තථාගතං ආරබ්භ”[273] එකල ඔහුගේ සිත තථාගතයන් අරබයා සෘජු ම වන්නේ ය. යනාදීන් වදාරා ඉක්බිති “උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්‍ථවෙද, ලභති ධම්මවෙදං, ලභති දම්මුපසංහිතං පාමුජ්ජං, පමුදිතස්ස පීති ජායති”[274] යනාදීන් වදාළේ ය. ‘මහානාමය! සෘජු සිත් ඇති ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක අත්‍ථවෙදය ලබන්නේ ය. ධම්මවෙදය ලබන්නේය. ධම්මුපසංහිත පාමුජ්ජය ලබන්නේ ය. සමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය, යනු එහි අර්ථ යි.

 

අත්‍ථවේදය” නම් “ඉති පි සො භගවා” යනාදියෙහි අර්‍ථය නිසා උපදින සන්තෝෂය යි.

 

ධම්මවේදය” නම් එහි පාළිය නිසා උපදින සන්තෝෂය යි.

 

ධම්මුපසංහිත පාමුජ්ජය” නම් ඒ අර්‍ථ-ධර්‍ම දෙක ම නිසා උපදින සන්තෝෂය යි.

 

දේවතානුස්මෘතියෙහි දෙවියන් අරභයා යි වදාළේ පළමු කොටැ දෙවියන් අරබයා පැවැති සිත් වශයෙනි. නොහොත් දෙවියන්ගේ ගුණ බඳු වූ හෝ දිව්‍යභාවය නිපදවන්නා වූ හෝ තමාගේ ගුණ අරභයා පැවැති සිත් වශයෙනි.

 

මේ ඡානුස්සති සමෘද්ධ වන්නේ ආර්‍ය්‍ය ශ්‍රාවකයන්ට ම ය. කුමක් හෙයින් ද බුද්ධ-ධර්‍ම-සංඝ ගුණ ප්‍ර‍කට වන්නේ ඔවුන්ට ම බැවිනි. අඛණ්ඩ-අච්ඡිද්‍රාදි ගුණ ඇති ශීලයෙන් යුක්ත වන්නෝත් විගතමල මච්ඡේර වූ ත්‍යාගයෙන් යුක්ත වන්නෝත් මහානුභාව ඇති දෙවියන්ගේ ගුණ බඳු ශ්‍ර‍ද්ධාදි ගුණයෙන් යුක්ත වන්නෝත් ඔව්හු ය. මහානාම සූත්‍රයෙහි ද ගේධ සූත්‍රයෙහි ද සම්බාධොකාස සූත්‍රයෙහි ද උපොසථ සූත්‍රයෙහි ද එකාදස නිපාතයෙහි ද මේ වදාළේත් ඔවුන් අරභයා ය. එබැවින් ඡානුස්සති සමෘද්ධ වන්නේ ආර්‍ය්‍ය ශ්‍රාවකයන්ට ම ය යි දත යුතු යි. මහානාම සූත්‍රයෙහි සෝවාන් පුද්ගලයාගේ නිශ්‍ර‍ය විහාර කෙසේ දැ යි විචාරන ලද බුදුරජාණන් විසින් ඒ දැක්වීම සඳහා ම මේ ඡානුස්සති විස්තර වශයෙන් වදාරන ලද්දේ ය.

 

ගේධ සූත්‍රයෙහි :- ඉධ භික්ඛවෙ අරියසාවකො තථා ගතං අනුස්සරති, ඉති පි සො භගවා - පෙ - උජුගත මෙ වස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨි තං ගෙධමහා. ගෙධො’ති ඛො භික්ඛවෙ පඤ්චන්තමෙතං කාමගුණානං අධිවචනං ඉදම්පී ඛො භික්ඛවෙ ආරම්මණං කරිත්‍වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති”[275] යි අනුස්මෘති වශයෙන් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ සිත පිරිසිදු කොටැ මතු පරමාර්‍ථ විශුද්ධිය ලැබැ ගන්නා පිණිස වදාරන ලද්දේ ය. මහණෙනි! මේ සසුන්හි ආර්‍ය්‍ය ශ්‍රාවක “ඉති පි සො භගවා” යනාදීන් තථාගතයන් වහන්සේ සිහි කරන්නේ ය. එසේ සිහි කරන විට ඔහුගේ සිත සෘජු වන්නේ ය. ගේධයෙන් නික්මෙන්නේ ය. මිදෙන්නේ ය. නැගී සිටින්නේ ය. මහණෙනි! ගේධ යනු පඤ්චකාම ගුණයන්ට නමෙකි. මහණෙනි! මේ අරමුණු කොටැ ද මෙලොව ඇතැම් සත්ත්‍වයෝ විශුද්‍ධ වෙති, යනු එහි අර්‍ථ යි.

 

සම්බාධොකාස සූත්‍ර‍ය මහාකාත්‍යායන ස්වාමීන් විසින් වදාරන ලද්දෙකි. එහි ‘අච්ඡරියං ආවුසො! අබ්භූතං ආවුසො! යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්බාධෙ ඔකාසාධිගමො අනුබුද්ධො සත්තානං විසුද්‍ධියා -පෙ- නිබ්බාණස්ස සච්ඡිකිරියාය යදිදං ඡ අනුස්සතිට්ඨානාති. කතමානි ඡ? ඉධාවුසො අරියසාවකො තථාගතං අනුස්සරති - පෙ - එවමිධෙකච්චෙ සත්තා විසුද්‍ධිධම්මා භවන්ති[276] යි ආර්‍ය්‍ය ශ්‍රාවකයා හට ම පරමාර්‍ථ විසුද්ධි ධර්‍මය පිණිස ඔකාසාධිගම වසයෙන් කියන ලද්දේ ය. ‘ඇවැත්නි ආශ්චර්‍ය්‍ය ය! ඇවැත්නි අද්භූතය! සියල්ල දන්නා ඒ අර්‍හත් සම්මා සම්බුදුන් විසින් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස - නිර්‍වාණාවබෝධය පිණිස මේ අනුස්සතිට්ඨාන සය මැනැවින් වදාරන ලද්දේ ය. කවර සයෙක් ද යත්? ඇවැත්නි! මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක “ඉතිපිසො” යනාදීන් තථාගතයන් වහන්සේ සිහි කෙරෙයි. -පෙ- මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ වෙති.’ යනු එහි සංක්‍ෂිප්ත අර්ථ යි.

 

උපොසථ සූත්‍රයෙහි “කථඤ්ච විසාඛෙ අරියූපොසථො හොති? උපක්කිලිට්ඨස්ස විසාඛෙ චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච විසාඛෙ උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ විසාඛෙ අරිය සාවකො තථාගතං අනුස්සරති.[277] යනාදීන් පෙහෙවගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා හට ම චිත්ත විශෝධන කර්‍මස්ථාන වශයෙන් පෙහෙවස්හි මහත් ඵල බව දක්වනු සඳහා වදාරන ලද්දේ ය.

 

විශාඛාවෙනි! ආර්‍ය්‍ය උපොසථය වන්නේ කෙසේ ද විශාඛාවෙනි! කිලිටු වූ සිත උපක්‍ර‍මයෙන් පිරිසිදු වන්නේ ය. විශාඛාවෙනි! කිලිටි වූ සිත කෙසේ උපක්‍ර‍මයෙන් පිරිසිදු වන්නේ ද විශාඛාවෙනි! මේ සසුන්හි ආර්‍ය්‍ය ශ්‍රාවක “ඉති පි සො භගවා” යනාදීන් තථාගතයන් වහන්සේ සිහි කරන්නේ ය’ යනු එහි අර්‍ථ යි.

 

ඒකාදස නිපාතයෙහි - ‘සද්ධො මහානාම ආරාධකො හොති නො අස්සද්ධො, ආරද්ධවිරියො, උපට්ඨිතසති, සමාහිතො, පඤ්ඤවා මහානාම ආරාධකො හොති නො දුප්පඤ්ඤො. ඉමෙසු ඛො ත්‍වං මහානාම පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය ඡ ධම්මෙ උත්තරිං භාවෙය්‍යාසි. ඉධත්‍වං මහානාම තථාගතං අනුස්සරෙය්‍යාසි ඉති පි සො භගවා”[278] යනාදීන් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ ම විහරණ දැක්වීම පිණිස වදාළේ ය.

 

“මහානාමය! ශ්‍ර‍ද්ධා ඇත්තේ ආරාධක වේ. ශ්‍ර‍ද්ධා නැත්තේ ආරාධක නො වේ. පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තේ, එළැඹැ සිටි සිහි ඇත්තේ, සමාධිමත් වූයේ, ප්‍ර‍ඥා ඇත්තේ ආරාධක වේ. හළ වීර්‍ය්‍ය ඇත්තේ, මුළා සිහි ඇත්තේ, විභ්‍රාන්ත සිහි ඇත්තේ, ප්‍ර‍ඥා රහිත වූයේ ආරාධක නො වේ. මහානාමය! තෙධ් මෙ පස් දහමැ පිහිටා මතු සදහම් වඩ. මහානාමය! තො “ඉති පි සො භගවා” යනාදීන් තථාගතයන් සිහිකර” යනු එහි අර්‍ථ යි. නානා විහරණයෙන් වසන අප විසින් කෙබඳු විහරණයෙකින් විසිය යුතු දැ යි විචාළ සෝවාන් වූ මහානාම ශාක්‍යයාගේ ප්‍ර‍ශ්නයට තථාගතයන් වහන්සේ දී වදාළ පිළිතුර යි.

 

මේ සියලු නිදර්‍ශනයන්ගෙන් දැක්වූයේ ආර්‍ය්‍ය ශ්‍රාවකයන් විසින් ම ඡ අනුස්සති වැඩිය යුතු බව යි. එසේ වුව ද පිරිසිදු ශීලාදි ගුණ ධර්‍මයෙහි පිහිටි පෘථග්ජනයන් විසින් ද එය වැඩිය යුතු යි. අනුශ්‍ර‍ව වශයෙන් වුව ද බුද්ධාදි ගුණ සිහි කරන්නවුන්ගේ සිත පහදින්නේ ය. එයින් නීවරණ මැඩැ ලා මහත් ප්‍රමෝද ලබා ලා කටකන්‍දර වාසී ඵුස්සදේව තෙරුන් මෙන් විවසුන් වඩා රහත් ද වන්නේ ය. ඵුස්සදේව තෙරුන්වහන්සේ මාරයා මවා පෑ බුදු රුව දැකැ “රාග-දෝස-මෝහ සහිත මාරයා මවා ගත් බුදුරුව මෙ සා ශෝභා සම්පන්න නම් රාග-දෝස-මෝහ රහිත උන්වහන්සේගේ රූපය කෙසේ ශෝභා සම්පන්න නො වේ දැ”යි බුද්ධාරම්මණ ප්‍රීති උපදවා විවසුන් වඩා එහි ම රහත් වූ සේක.

 

සජ්ජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධි මාර්‍ගයෙහි

සමාධි භාවනාධිකාරයට ඇතුළත් “ඡ අනුස්සති”

නිර්‍දෙශ නම් සත්වන පරිච්ඡේදය යි.


8 වන පරිච්ඡේදය

අනුස්මෘති කර්‍මස්ථාන නිර්දේශය

 

නමො භගවතො සම්බුද්ධස්ස

 

මරණානුස්මෘතිය

 

දේවතානුස්මෘතියට අනතුරු වැ මරණානුස්මෘතිය දක්වනු ලැබේ. මරණ නම් එක් භවයකට ඇතුළත් ජීවිතෙන්‍ද්‍රිය සිඳී යාම ය. එය ජීවිතින්‍ද්‍රියොපච්ඡේද මරණය යි කියනු ලැබේ. ඒ හැරැ සමුචේඡද මරණය, ක්‍ෂණික මරණය, සම්මුති මරණය යි, තවද මරණ තුනෙක් ඇත්තේ ය. සමුචේඡද මරණ නම් රහතන් වහන්සේගේ සියලු සසර දුකින් මිදීම සංඛ්‍යාත මරණය යි. ක්‍ෂණික මරණ නම් සංස්කාරයන්ගේ ක්‍ෂණ භඞ්ගය යි. සම්මුති මරණ නම් “ගස මැරුණේ ය. ලෝභය මැරුණේ ය” යනාදි වශයෙන් පවත්නා ලෝක සම්මත මරණය යි. මේ ත්‍රිවිධ මරණ මෙහි අදහස් නො කරන ලද බව ද මුල දැක්වුනු ජීවිතෙන්‍ද්‍රියොපච්ඡේද මරණය ම අදහස් කරන ලද බව ද දත යුතු යි.

 

ඒ ජීවිතෙන්‍ද්‍රියෝපච්ඡේද මරණය ද වනාහි කාල මරණය, අකාල මරණය යි යළි දෙවැදෑරුම් වේ. කාල මරණය පුණ්‍යක්‍ෂයයෙන් හෝ ආයුඃක්‍ෂයයෙන් වන්නේ ය. අකාල මරණය උපචේඡදක කර්‍මයෙන් වන්නේ ය.

 

එහි විස්තරය මෙසේ ය:- උපන් භවයෙහි ආයුසන්තතිය පැවැතීමට හේතු වූ ආහාරාදි ප්‍ර‍ත්‍යය සම්පත් ඇත ද ප්‍ර‍තිසන්‍ධි ජනක කර්‍මය විපාක දී අවසන් වීමෙන් යමෙකුගේ මරණය වේ ද, ඒ පුණ්‍යක්‍ෂය මරණය යි. කාල ආහාරාදි සිම්පත් නැති වීමෙන් මෙ කල මිනිසුන්ට ශතවර්‍ෂ ප්‍ර‍මාණ ආයුෂ ක්‍ෂය වීමෙන් සිදුවන මරණය මෙන් යමකුගේ මරණය වේද, එය ආයුඃක්‍ෂය මරණය යි. අකාල මරණය තත් ක්‍ෂණික වශයෙන් ද පූර්‍වකෘත වශයෙන් දැ යි දෙ ආකාරයෙකින් සිදු වේ. දූසීමාරකලාබු රාජාදීන්ට මෙන් ඒ ඇසිල්ලෙහි කළ බලවත් වූ අකුශල කර්‍මයෙන් උන්තැනින් චුතවීම් වශයෙන් සිදුවන මරණය තත් ක්‍ෂණික අකාල මරණය යි. පූර්‍ව ජාතික උපච්ඡේද කර්‍මයෙන් අවියෙන් පැහැර සිය දිවි නසා ගැනීම් ආදි වශයෙන් සිදුවන මරණය පූර්‍වකෘත අකාල මරණය යි.

 

පුණ්‍යක්‍ෂය මරණය, ආයුඃක්‍ෂය මරණය, උපක්‍ර‍ම මරණය යන මේ ත්‍රිවිධ මරණය ම යට කී ජීවිතේන්‍ද්‍රියොපච්ඡේද මරණයෙහි ඇතුළත් බව දත යුතු යි. ඒ මරණය පිළිබඳ වූ අනුස්මෘතිය මරණානුස්මෘතිය යි. (මෙහි පුණ්‍යක්‍ෂය මරණය යි කීයේ ප්‍ර‍ස්තුත වශයෙනි. පාපාක්‍ෂයයෙන් ද මරණය සිදු වේ. එ බැවින් එය කර්‍මක්‍ෂය මරණය යි ද කියනු ලැබේ. උපන් ලෝකයට නියමිත ආයුෂ තව ශේෂ වැ තිබියදීත් ප්‍ර‍තිසන්‍ධි දුන් කර්‍මයේ ශක්තිය අවසන් වීමෙන් සිදුවන මරණය කර්‍මක්‍ෂය මරණය යි ද ප්‍ර‍තිසන්‍ධි දුන් කර්‍මයේ ශක්තිය තව ශේෂ වැ තිබියදීත් උපන් ලෝකයට නියමිත ආයුෂය අවසන් වීමෙන් සිදුවන මරණය ආයුඃක්‍ෂය මරණය යි ද, කර්‍ම-ආයු යන දෙක්හි ම ශක්තිය තව ශේෂ වැ තිබියදීත් දෘෂ්ටධර්‍ම වශයෙන් හෝ අපරාපරිය වශයෙන් හෝ කළ බලවත් ම අන්‍ය කර්‍මයෙක ශක්තියෙන් සිදුවන මරණය උපච්ඡේදක මරණය යි ද කී නියා දත යුතුයි. මෙයින් මුල් දෙක කාල මරණය යි ද තෙ වැන්න අකාල මරණය යි ද කියනු ලැබේ. කර්‍ම-ආයු දෙක්හි ම ශක්තිය එකවිට අවසන් සිදුවන උභයක්‍ෂය මරණය ද කාල මරණයෙහි ම ඇතුළති.)

 

මරණානුස්මෘතිය වඩනු කැමැති යෝගී විසින් රහසිගත වැ විවෙක වැ හිඳැ “මරණං භවිස්සති ජීවිතින්‍ද්‍රියං උපච්ඡිජ්ජීස්සති” මරණය වන්නේ ය. ජීවිතෙන්‍ද්‍රිය සිදී යන්නේ ය කියා “මරණං මරණං” ‘මරණය මරණය’ කියා හෝ නුවණින් මෙනෙහි කළ යුතු. නො කොටැ නුනුවණින් මෙනෙහි කරත් හොත් ප්‍රිය පුත්‍ර‍යාගේ මරණය සිහි කිරීමෙහි දී වැදූ මෑණියන්ට මෙන් ප්‍රිය ඇත්තන්ගේ මරණය සිහි කිරීමෙහි ශෝකය උපදින්නේ ය. වෛරීන්ගේ මරණය සිහි කිරීමේදී වෛරීන්ට මෙන් අප්‍රිය ඇත්තන්ගේ මරණය සිහි කිරීමේදී ප්‍රීතිය උපදින්නේ ය. මළ මිනී දැකීමෙහි දී මළ මිනී දවන්නවුන්ට මෙන් මධ්‍යස්ථයන්ගේ මරණය සිහි කිරීමෙහිදී සංවේග නූපදින්නේ ය. තමා මරනු පිණිස කඩුව අමෝරා දිවැ එන වධකයා දැකීමෙහිදී බිය සුල්ලාට මෙන් තමාගේ මරණය සිහි කිරීමෙහිදී භය උපදින්නේ ය. ශෝක ඉපදීම ය, ප්‍රීති ඉපදීම ය, සංවේග නූපදීම ය, බිය ඉපදීමය යන මේ සියල්ල වන්නේ සති-සංවේග-ඤාණ නැති බැවින් ය. එබැවින් ඒ ඒ තන්හි මරා ලූ ද, මැරුණා වූ ද, සතුන් දැකීමෙන් ද, දැක පුරුදු සම්පත විඳි සත්ත්‍වයන් මරණය සිහි කිරීමෙන් ද සති - සංවේග - ඤාණ උපදවා මරණය වන්නේ ය, යනාදි නියායෙන් මෙනෙහි කළ යුතු. නුවණින් මෙනෙහි කෙළේ වන්නේ එසේ කළ විට ය. එසේ කරත් ම තියුණු නුවණැතියන්ගේ නීවරණ විෂ්කම්භන වේ. මරණානුස්මෘති පිහිට යි. කර්‍මස්ථාන උපචාර ප්‍රාප්ත ම වන්නේ ය.

 

මෙසේ භාවනා කරන කල්හි කර්‍මස්ථාන උපචාර ප්‍රාප්ත නූණි නම් මතු දැක්වෙන අට ආකාරයෙන් මරණය සිහි කළ යුතු.

 

මරණය සිහි කළ යුතු අට ආකාරය

 

1.  වධක පච්චුපට්ඨානය

2.  සම්පත්ති විපත්තිය

3.  උපසංහරණය

4.  කායබහුසාධාරණය

5.  ආයු දුබ්බලය

6.  අනිමිත්තය

7.  අද්ධානපරිච්ඡේදය

8.  ඛණපරිත්තය

 

1.  වධක පච්චුපඨානය

 

වධක පච්චුපට්ඨානය නම් :- වධකයකු එළඹ සිටි සේ මරණය එළඹැ සිටියේය යි සිහි කිරීම ය. “මුගේ හිස සිඳැ ලමි”යි කඩුව ගෙනැ පැමිණි ගෙල පහරනා වධක ඒකාන්තයෙන් එළැඹැ සිටි සේ ම මරණ ද එළඹැ සිටියේය යි සිහිකළ යුතු.

 

කුමක් හෙයින් ද මරණය උත්පත්තිය සමගම අවුත් ඒකාන්තයෙන් දිවි පැහැර ගන්නා බැවිනි. නයි හතු කැකුළු මුදුණින් පසු සුඟක් ගෙනැ නඟින්නා සේ ම සත්ත්‍වයෝ ජරා - මරණ ගෙනැ ම උපදිති.

 

ඒ එසේ මැ යි :- ඔවුන්ගේ ප්‍ර‍තිසන්‍ධි චිත්තය උත්පාදයට අනතුරුවැ ම ජරාවට පැමිණැ පර්‍වත ශිඛරයෙන් ගිළිහුණු ගලක් මෙන් සම්ප්‍ර‍යුක්ත ධර්‍ම සමග ම බිඳී යන්නේ ය. මේ ක්‍ෂණික මරණය උත්පත්තිය සමග ම පැමිණි ආකාරය යි. එසේ ම මෙහි දැක්වුණු ජීවිතෙන්‍ද්‍රියොපච්ඡේද මරණය ද උත්පත්තිය සමග ම වන්නේ ය. උදය පර්‍වතයෙන් නැඟුණු සූර්‍ය්‍යයා අස්ත පර්‍වතයට යන්නේ ගිය ගිය තන්හි මඳකුදු නො නැවතී ගමන් කරන්නා සේ, පර්‍වතයෙන් ගලා වැටෙන සැඩ වතුරු ඇති ගංගාව මඳකුදු නො සිටැ ගලා බස්නා සේ මේ සත්ත්‍වයා ද උපන් තැන් පටන් මඳකුදු නො නැවතී මරණයට අභිමුඛ වැ මැ ගමන් කරන්නේ ය කීයේ මැ යි:-

 

“යමෙකරත්තිං පඨමං - ගබ්භෙ වස්ති මානවො

අබ්භුට්ඨිතො ව සයති - ස ගච්ඡං න නිවත්තති”යි

 

‘මේ මනුෂ්‍යයා යම් එක රැයෙක මව් කුස පිළිසිඳැ ගන්නේ ද එසේ පිළිසිඳ ගත් හෙතෙමේ අහස නැඟි වළාකුළක් මෙන් මරණය කරා යන්නේ ය. එසේ යන්නේත් ඇසිල්ලකුදු නො නවතින්නේ ය.’

 

ග්‍රීෂ්ම කාලයෙහි සූර්‍යතාපයෙන් ඇළ-දොළ සිඳී යන්නා සේ උදය කාලයෙහි අපොරසානුගත බන්‍ධන ඇති වෘක්‍ෂ ඵල තුවටුයෙන් ගිලිහී යන්නා සේ මුගුරින් පහළ මැටි බදුන් බිඳී යන්නා සේ, හිරැ රැස් වගුළ පිනි බිඳු වැනසී යන්නා සේ එසේ යන සත්ත්‍වයා මරණයට ආසන්න වන්නේ ය.

 

එහෙයින් කියන ලදී :-

 

“අච්චයන්තී අහොරත්තා - ජීවිතං උපරුජ්ඣති,

ආයුඛීයති මච්චානං - කුන්නදීනං ච ඔදකං

ඵලානමිව පක්කානං - පාතො පතනතො භයං

එවං ජාතානමච්චානං - නිච්චං මරණතො භයං

යථා පි කුම්භකාරස්ස - කතං මත්තිකභාජනං,

සබ්බං භෙදනපරියන්තං - එවං මච්චාන ජීවිතං

උස්සාවොව තිණග්ගම්හි - සුරියස්සුග්ගමනං පති

එවමායු මනුස්සානං - මා මං අම්ම නිවාරය”යි.

 

“රෑ-දාවල් ඉක්මැ යන්නේ ය. ජීවිතය නිරුද්ධ වන්නේ ය. ඇළ-දොළවල ජලය සේ මනුෂ්‍යයන්ගේ ආයුක්‍ෂය වන්නේ ය. විලිකුන් ඵල උදෑසනක් සේ වන භය ‍සේ උපන් සත්ත්‍වයන්ට එක්වන් මරණයෙන් භය පැමිණෙන්නේ ය. කුඹලා තැනූ සියලු මැටි බඳුන් බිඳී යන්නා සේ මිනිසුන්ගේ මුළු ජීවිත බිඳීමෙන් අවසන් වන්නේ ය. සූර්යෝදයයෙහි තණ අග පිනිබිඳක් සේ මිනිසුන්ගේ ආයුක්‍ෂය වන්නේ ය. මෑණියෙනි? පැවිදි වන්නට යන මා නොවළකන්න.”

 

මෙසේ කඩුව අමෝරා ගත් වධක සේ උත්පත්තිය හා සමග ම පැමිණි මේ මරණය ගෙළ කපාලන ඒ වධක සේ ඒකාන්තයෙන් දිවි පැහැර ගන්නේ ය. දිවි පැහැර නො ගෙන නම් නො නවතින්නේ ය. එසේ හෙයින් උත්පත්තිය සමගම පැමිණි විපත් ද, දිවි පැහැර ගන්නා බැවින් ද, කඩුව අමෝරා ගත් වධක සේ මරණය එළඹැ සිටියේ ම ය යි මෙසේ වධක පච්චුපඨාන වශයෙන් මරණය සිහි කළ යුතු.

 

2.  සම්පත්ති විපත්තිය

 

සම්පත්ති විපත්ති වශයෙන් මරණය කෙසේ සිහි කළ යුතු ද, සම්පත්ති ශෝභමාන වන්නේ විපත්තියෙකින් නො මැඩෙන තාක් ය. විපත්තියෙකින් නො මැඩෙන සම්පත් නම් ලොව කැල ම නැත්තේ ය. බලනු.

 

“මුළු පොළෝ වළඳා - කෙළ සිය ගණන් දන් දී

අඩැඹුල් මතෙක අවසනැ - ඉසුරු බවට පැමිණියේ

එ මෙ සිරුරු බෙදෙන් - කළ පින් ගෙවෙත ගොරතර

මරණ මුව වන් දම්සෝ - නිරිඳු විඳියේ දළ සෝ

 

“සකලං මෙදිනං භූත්‍වා - දත්‍වා කොටිසතං සුඛී,

අද්ධාමලකමත්තස්ස - අනෙන ඉස්සරතං ගතො

තෙනෙව දෙහ බන්‍ධෙන - පුඤ්ඤම්හි ඛයමාගතො,

මරණාභිමුඛො සො පි - අසොකො සොකමාගතො”

 

තවද සියලු නීරොගත්‍ව ව්‍යාධිය අවසාන කොටැ ඇත්තේ ය. සියලු යෞවන ජරාව අවසාන කොටැ ඇත්තේ ය. සියලු ජීවිත මරණය අවසාන කොට ඇත්තේ ය. මේ සියලු ම ලෝකයා ජාතියෙන් අනු වැ යන ලද්දේ ය. ජරායෙන් වළඳනා ලද්දේ ය. ව්‍යාධියෙන් මඩනා ලද්දේ ය. මරණයෙන් පහරන ලද්දේ යි.

 

කීයේ මැ යි :-

 

“යථා පි සෙලා විපුලා - නහං ආහච්ච පබ්බතා

සමන්තා අනුපරියෙය්‍යුං - නිප්පොඨෙන්තා චතුද්දිසා

එවං ජරං ච මච්චූ ච - අධිවත්තන්නි පාණිනො

ඛත්තියෙ බ්‍රාහ්මණෙ වෙස්සෙ - සුද්දෙ චණ්ඩාල පුක්කුසෙ

න කිඤ්චි පරිවජ්ජෙති - සබ්බමෙවාභිමද්දති

න තත්‍ථ හත්‍ථිනං භූමිං - න රථානං න පත්තියා

න චා‘පි මන්තයුද්ධෙන - සක්කා ජෙතුං ධනෙන වා”[279]

 

‘අහස පැහැර සිටි විශාල ශෛල පර්‍වත සිව් දිගින් මඩිමින් හාත්පසින් පෙරළි පෙරළි එන්නා සේ ජරා - මරණ ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ-වෛශ්‍ය-ශුද්‍ර‍-චණ්ඩාල-පුක්කුස යන සියලු සත්ත්‍වයන් මඩිමින් එන්නේ ය. කිසිවකුදු නො හරනේ ය. සියල්ල මැඩලන්නේ ය. (ඒ ජරාමරණයුද්‍ධයෙන් දිනිය හැකි ද නො හැකිය.) එහි ඇතුන්ට යා හැකි නො වේ. රථයන්ට යා හැකි නො වේ. පදාතීන්ට යා හැකි නො වේ. මන්ත්‍ර‍ යුද්ධයෙන් හෝ ධනයෙන් හෝ දිනිය හැකි ද නො වේ.

 

මෙසේ ජීවිත සම්පත්තිය මරණ විපත්තියෙන් අවසාන බව ව්‍යවස්ථා කරන්නහු විසින් සම්පත් විපත් වශයෙන් මරණය සිහි කළ යුතු යි.

 

3.  උපසංහරණය

 

අනුන් හා සමග තමන් එළවා බැලීමෙන් මරණය සිහිකළ යුතු. ඒ වනාහි සත් ආකාරයෙකින් කළ යුතු.

 

(1) යශස් මහත්ත්‍ව වශයෙන්

(2) පුණ්‍ය මහත්ත්‍ව වශයෙන්

(3) ථාම මහත්ත්‍ව වශයෙන්

(4) සෘද්ධි මහත්ත්‍ව වශයෙන්

(5) ප්‍ර‍ඥා මහත්ත්‍ව වශයෙන්

(6) ප්‍රත්‍යෙක බුද්ධ වශයෙන්

(7) සම්‍යක් සම්බුද්ධ වශයෙන්

 

‍(1) යශස් මහත්ත්‍ව වශයෙන් කෙසේ සිහි කළ යුතු ද

 

මේ මරණය වනාහි මහයසස් ඇති මහ පිරිවර ඇති ධන වාහනයෙන් යුත් මහාසම්මත, මහාමන්‍ධාතු, මහාසුදස්සන, දළ්හනෙමී, නිමි ආදි මහරජවරුන් මතුයෙහි පවා නිසැක වැ ම වැටුණේ ය. මා මතුයෙහි වැටෙති යනු කවර කථා ද

 

“මහා යසා රාජවරා - මහාසම්මත ආදයො

තෙපි මච්චුවසං පත්තා - මාදිසෙසු කථාව කා.”

 

‘මහයසස් ඇති මහාසම්මත ආදි ඒ රජදරුවෝ පවා මාරවසයට ගියාහු ය. මා වැන්නවුන් කෙරෙහි කියනු ම කිම?

 

මේ යශස් මහත්ත්‍ව වශයෙන් සිහි කළ යුතු ආකාරය යි.

 

(2) පුණ්‍ය මහත්ත්‍ව වශයෙන් කෙසේ සිහි කළ යුතු ද

“ජොතියො ජටිලො උග්ගො - මෙණ්ඩකො අථ පුණ්ණකො

එතෙ චඤ්ඤෙ ච යෙ ලොකෙ - මහා පුඤ්ඤාති විස්සුතා

සබ්බෙ මරණමාපන්තා - මාදිසෙසු කථාව කා”

 

‘ජොතිය, ජටිල, උග්ග, මෙණ්ඩක, පුණ්ණක යන මේ මහ පින් ඇති ලෝක ප්‍ර‍සිද්ධ සිටුවරයෝ ද, තව එබඳු වූ අන්‍යයෝ ද යන සියල්ලෝ මරණයට පැමිණියෝ ය. මා වැන්නන් කෙරෙහි කවර කථා ද,

 

මේ පුණ්‍ය මහත්ත්‍ව වශයෙන් සිහි කළ යුතු ආකාර යි.

 

(3) ථාම මහත්ත්‍ව වශයෙන් කෙසේ සිහි කළ යුතු ද

“වාසුදෙවො බලදෙවො - භීමසෙනො යුධිට්ඨිලො

චානුරො පියදාමල්ලො - අන්තකස්ස වසං ගතා

එවං ථාමබලූපෙතා - ඉතිලොකම්හි විස්සුතා

එතෙපි මරණං යාතා - මාදිසෙසු කථාව කා.”

 

‘වාසුදේව, බලදේව, භීමසේන, යුධීෂ්ඨිර, චානුර, පියදාමල්ල යන මොව්හු ද, මාරවසයට ගියෝ ය. මෙසේ ථාම බලයෙන් යුත් ලෝකප්‍ර‍සිද්ධ මේ වීරයෝ පවා මරණයට ගියෝ ය. මා වැන්නන් කෙරෙහි කවර කථා ද,

 

මේ ථාම මහත්ත්‍ව වශයෙන් සිහිකළ යුතු ආකාර යි.

 

(4) සෘද්ධි මහත්ව වශයෙන් කෙසේ සිහිකළ යුතු ද

“පාදඞ්ගුට්ඨකමත්තෙන - වෙජයන්තං අකම්පයී

යො නාමිද්ධිමතං සෙට්ඨො - දුතියො අග්ගසාවකො

සොපි මච්චුමුඛං ඝොරං - මිගො සීහමුඛං විය

පවිට්ඨො සහ ඉද්‍ධිහි - මාදිසෙසු කථාව කා.”

 

සෘද්‍ධිමතුන්ගෙන් අග්‍ර‍ වූ යම් ද්විතීය අග්‍ර‍ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් පය මහපට ඇඟිලි පමණෙකින් වෛජයන්ත ප්‍රාසාදය කම්පා කළෝ ද, උන්වහන්සේ පවා ඒ සා සෘද්‍ධිය හා සමග මෘගයෙක් මෘගෙන්‍ද්‍ර‍ මුඛයට මෙන් ඝෝර වූ මාර මුඛයට පිවිසි සේක. මා වැන්නන් කෙරෙහි කවර කථා ද,

 

මේ සෘද්ධි මහත්ත්‍ව වශයෙන් සිහි කළ යුතු ආකාර යි.

 

(5) ප්‍ර‍ඥා මහත්ත්‍ව වශයෙන් කෙසේ සිහි කළ යුතු ද

“ලොකනාථං ඨපෙත්‍වාන - යෙ අඤ්ඤෙ අත්‍ථි පාණිනො

පඤ්ඤාය සාරිපුත්තස්ස - කලං නාග්ඝන්ති සොළසිං

එවං නාම මහාපඤ්ඤෙ - පඨමො අග්ගසාවකො

මරණස්ස වසං පත්තො - මාදිසෙසු කථාව කා.”

 

‘සම්බුද්ධයන් වහන්සේ හැරැ අන්‍ය සියලු ප්‍රාණීහු ම ප්‍ර‍ඥායෙන් සැරියුත් ස්වාමීන්ට සොළොස් වන කලාවට ද නො අගිති. ඒ සා මහා ප්‍රාඥ වූ ප්‍ර‍ථම අග්‍ර‍ශ්‍රාවකයන් වහන්සේ පවා මාර වශයට ගිය සේක. මා වැන්නන් කෙරෙහි කවර කථා ද,

 

මේ ප්‍ර‍ඥා මහත්ත්‍ව වශයෙන් සිහි කළ යුතු ආකාරය යි.

 

(6) ප්‍රත්‍යෙකබුද්ධ වශයෙන් කෙසේ සිහි කළ යුතු ද

 

ස්වකීය ප්‍ර‍ඥා - වීර්‍ය්‍ය බලයෙන් සියලු කෙලෙස් සතුරන් සාධා පසේ බුදු බැව් ලත් කගවෙහෙණ බඳු ස්වයම්භුවරයෝ ද මරණයෙන් මිදී ගන්නට අසමර්‍ථ වූවෝ ය. මම කෙසේ මිදී ගන්නෙම් ද

 

“තං තං නිමිත්තමාගම්ම - වීමංසන්තා මහෙසයො

සයම්භුඤාණතෙජෙන - යෙ පත්තා ආසවක්ඛයං

එකචරියනිවාසෙන - ඛග්ගසිඞ්ගසමූපමා

තෙපි නාතිගතා මච්චුං - මාදිසෙසු කථාව කා.”

 

‘අතේ රන් වලලු ගැටුම්, හුණ කිළිල් කිසි තැනෙක නො ලැගුම්” ආදි ඒ ඒ නිමිති ලැබැ පරීක්‍ෂාකාරී වූ යම් මහර්ෂි කෙනෙක් ස්වයම්භුඥාන තේජසින් ආශ්‍ර‍වක්‍ෂයට පැමිණියෝ ද, හුදෙකලා විසුමෙන් කාගවෙහෙණ බඳු ඒ පසේ බුදුවරයෝ ද මාරයා ඉක්ම නො ගියෝ ය. මා වැනියන් කෙරෙහි කවර කථාද,

 

මේ ප්‍රත්‍යෙකබුද්ධ වශයෙන් සිහි කළ යුතු ආකාර යිහ

 

(7) සම්‍යක් සම්බුද්ධ වශයෙන් කෙසේ සිහි කළ යුතු ද

අශීති අනුඛ්‍යඤ්ජනයෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් හා විචිත්‍ර‍ රූපකාය ඇති, සර්‍වාකාර පරිශුද්ධ ශීලස්කන්‍ධාදි ගුණරත්නයෙන් සමෘද්‍ධ ධර්‍මකාය ඇති, යශො මහත්ත්‍ව, පුණ්‍ය මහත්ත්‍ව, ථාම මහත්ත්‍ව, සෘද්ධි මහත්ත්‍ව, ප්‍ර‍ඥා මහත්ත්‍ව යන මේ මහත්ත්‍වයන්ගෙන් පරතෙර පත්, අසම වූ අසමසම වූ අප්‍ර‍ති පුද්ගල වූ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ පවා වැසි දිය භීමෙන් මහගිනි කඳක් සේ මරණ වැසි භීමෙන් නිවීගියසේක.

 

“එවං මහානුභාවස්ස - යං නාමෙතං මහෙසිනො

න භයෙන න ලජ්ජා ය - මරණං වසමාගතං

නිල්ලජ්ජං වීතසාරජ්ජං - සබ්බසත්තාභිමද්දනං

තයිදං මාදිසං සත්තං - කථං නාභිභවිස්සති”

 

‘යම් මරණයෙක් ඒ සා මහානුභාව ඇති මහර්ෂීන් වහන්සේට පවා බියෙන් ලජ්ජායෙන් වසයට නො ගියේ නම් විළි - බිය නැති සියලු සතුන් මැඩැ පියනසුලු ඒ මරණය මා වැනි සතකු කෙසේ නම් නො මැඩැ පියා ද,

 

මේ සම්‍යක් සම්බුද්ධ වශයෙන් සිහි කළ යුතු ආකාර යි.

 

මෙසේ යශෝමහත්ත්‍වාදියෙන් සමන්විත වූ අන්‍යයන් හා සමග සමානභාවයෙන් මරණය තමා කෙරෙහි එළවා ඒ විශේෂ සත්ත්‍වවරයන්ට සේ මට ද මරණය වන්නේ ය යි සිහි කරත් ම කර්‍මස්ථානය උපචාර ප්‍රාප්ත වේ. මෙසේ උපසංහරණ වශයෙන් මරණය සිහි කළ යුතු.

 

4.  කාය බහු සාධාරණය

 

ස්වකීය ශරීරය අන්‍ය බොහෝ සත්ත්‍වයන්ට සාධාරණ බව සලකා බැලීමෙන් මරණය සිහි කළ යුතු.

 

ඒ මෙසේ ය:-

 

මේ ශරීරය බොහෝ දෙනාට සාධාරණ ය. අසූ කුලයෙක පණුවන්ට සාධාරණ ය. ඒ පණුවන් අතුරෙන් සිවිය ඇසුරු කළ පණුවෝ සිවිය කා දමති. සම ඇසුරු කළ පණුවෝ සම කා දමති. මස ඇසුරු කළ පණුවෝ මස කා දමති. නහර ඇසුරු කළ පණුවෝ නහර කා දමති. ඇට ඇසුරු කළ පණුවෝ ඇට කා දමති. මිදුලු ඇසුරු කළ පණුවෝ මිදුලු කා දමති. ඔව්හු එහිම උපදිති. එහිම දිරති. එහි ම මියති. එහි ම මළ මූ කෙරෙති. ඔවුන්ගේ තිඹිරිගෙය ද, ගිලන් හල ද, සොහොන ද, වැසිකිළිය ද, කෙස කිළිය ද මේ ශරීරය ම ය. හෙ ද ඔවුන්ගේ ප්‍රකෝපයෙන් මරණයට පැමිණෙයි. ඒ අසූකුලයේ පණුවන්ට සේ ම මේ ශරීරය මරණයට හේතු වන නොයෙක් සිය ගණන් අධ්‍යාත්මික රෝගයන්ට ද, බාහිර නයි ගෝනුසු ආදි සත්ත්‍වයන්ට ද සාධාරණය. සිව් මං සන්‍ධියෙහි කළ ඉලක්කයෙහි සියලු දිගින් හෙන ඊ-සැත්-තෝමර-පහණ ආදිය වැදැහෙන්නා සේ මේ ශරීරයෙහි සියලු උපද්‍ර‍වයෝ වැදහෙති. මේ ශරීරය ඒ උවදුරු වලින් ද මරණයට පැමිණෙයි.

 

වදාළේ මැ යි :-

 

“ඉධ භික්ඛවෙ භික්ඛු දිවසෙ නික්ඛන්තෙ රත්තියා පනිහිතාය ඉනි පටිසංචික්ඛති. බහුකා ඛො මෙ පච්චයා මරණස්ස - අභි වා මං ඩසෙය්‍ය, විච්ඡිකො වා මං ඩසෙය්‍ය, සතපදී වා මං ඩසෙය්‍ය, තෙන මෙ අස්ස කාලකිරියා, සො මම’ස්ස අන්තරායො. උපක්ඛලිත්‍වා වා පපතෙය්‍ය, භත්තං වා මෙ භූත්තං ව්‍යාපජ්ජෙය්‍ය, පිත්තං වා මෙ කුප්පෙය්‍ය, සෙම්හං වා මෙ කුප්පෙය්‍ය, සත්‍ථකා වා මෙ වාතා කුප්පෙය්‍යුං තෙන මෙ අස්ස කාලකිරියා, සො මම’ස්ස අන්තරායො”[280]

 

‘මහණෙනි! මේ සසුන්හි භික්‍ෂු දහවල් ගෙවෙත් ම රෑ වත් ම මෙසේ සලකයි. මාගේ මරණයට හේතු බොහෝ ය. නයෙක් හේ ගෝනුස්සෙක් හෝ පත්තෑයෙක් හෝ මා දෂ්ට කෙළේ නම් එයින් මගේ මරණය වන්නේ ය. එසේ වන මරණය මට බුදුන් වදාළ අනුශාසනා කිරීමට අන්තරායකර වන්නේ ය. එසේ ම මම පය පැකිළ වැටුනෙම් නම් වැළඳූ ආහාර හෝ අජීර්‍ණ විණි නම් පිත හෝ සෙම් ශස්ත්‍ර‍ක වාත හෝ කිපිණි නම් එයින් මගේ මරණය වන්නේ ය. ඒ මරණය මට බුදුන් වදාළ අනුශාසනාව කිරීමට අන්තරායකර වන්නේ ය, යනු එහි අර්‍ථ යි.

 

මෙසේ කාය බහුසාධාරණ වශයෙන් මරණය සිහි කළ යුතු.

 

5.  ආයු දුබලත්‍වය

 

ආයු දුබල වශයෙන් සලකා මරණය සිහි කළ යුතු කෙසේ ද

 

මේ ආයුෂ වනාහි අබලය, දුර්‍බලය, සත්ත්‍වයන්ගේ ජීවිත ආශ්වාස-ප්‍ර‍ශ්වාස පිළිබඳ ය, ශීත-උෂ්ණ පිළිබඳ ය, මහාභූත පිළිබඳ ය, ආහාර පිළිබඳ යි.

 

ඒ එසේ මැ යි :- මේ ජීවිතය ආශ්වාස-ප්‍ර‍ශ්වාස සම වැ පවත්නාතාක් පවත්නේ ය. පිටත නික්මුණු නාසිකා වාතය ඇතුළට නො පිවිසෙත් ම ඇතුළ පිවිසුණු නාසිකා වාතය පිටත නො නික්මෙත් ම සත්ත්‍වයා මෙළේ නම් වේ. එසේ ම මේ ජීවිතය සතර ඉරියව් සම වැ පවත්නා තාක් පවත්නේ ය. කොයෙකක් හෝ අධික වත් ම ආයුෂය සිඳී යෙයි. ශීත - උෂ්ණ ද සම වැ පවත්නා තාක් පවත්නේ ය. අධික ශීතයෙන් හේ අධික උෂ්ණයෙන් හෝ පීඩිත වත්ම වැනසී යෙයි. මහාභූත ද සම වැ පවත්නා තාක් පවතින්නේ ය. පෘථිවි ධාතු හෝ අප් ධාතු ආදීන් අතුරෙන් කිසිවක් හෝ කිපීමෙන් බලසම්පන්න පුද්ගලයෝ ද තද වැ ගත් ශරීර ඇත්තෝ වැ අතීසාරාදි වශයෙන් තෙත් වූ පූතිකාය ඇත්තෝ වැ මහදාහයෙන් පෙළුණෝ වැ සන්‍ධිබන්‍ධන හෝ සිඳී ගියෝ වැ ජීවිතක්‍ෂයට පැමිණෙති. කබලීකාරාභාරය ද සුදුසු අවස්ථාවෙහි ලදහොත් ජීවිතය පවතී. නො ලදහොත් නො පවතී.

 

6.  අනිමිත්තය

 

අනිමිත්ත වශයෙන් සලකා මරණය සිහි කළ යුතු කෙසේ ද, අනිමිත්ත නම් කාලාදි වශයෙන් ව්‍යවච්ඡේද රහිත බව ය.

 

සතත්‍වයන්ගේ (1) ජීවිතය, (2) ව්‍යාධිය, (3) කාලය, (4) දේහ නික්‍ෂෙපය, (5) ගතිය යන මේ පස ජීවලෝකයෙහි ව්‍යවචේඡද රහිත ය දැනැ ගත නො හැකිය.

 

“ජීවිතං ව්‍යාධි කාලො ච - දෙහනික්ඛෙපනං ගති

පඤ්චෙතෙ ජීවලොකස්මිං - අනිමිත්තා න ඤායරෙ.”[281]

 

(1) ‘මෙ තෙක් කල්ම ජීවත් විය යුතු ය. මින් ඔබ්බෙහි ජීවත් විය යුතු නො වේ’ ය යි ව්‍යවස්ථා රහිත බැවින් ජීවිතය අනිමිත්ත ය.

 

ඒ එසේ මැ යි :- සත්ත්‍වයෝ කලලාවස්ථායෙහි ද මැරෙති. අර්බුද පෙසි - ඝන අවස්ථායෙහි ද මැරෙති. එක් මැසි - දෙ මැසි - තෙ මැසි - සිව් මැසි - පස් මැසි - දස මැසි කල ද මැරෙති. කුසින් සැහැල්ලු වන කල ද මැරෙති. ඉන් පසු හවුරුදු සියයෙන් මොබ ද ඔබ ද මැරෙත්.

 

(2) මේ ව්‍යාධියෙන් ම සත්ත්‍වයෝ මැරෙති, අන් ව්‍යාධියෙකින් නො මැරෙති යි ව්‍යවස්ථා නැති බැවින් අනිමිත්ත ය. සත්ත්‍වයෝ ඇස් රෝගයෙනුදු මැරෙති, සෝත රොගාදීන් අතුරෙන් කිසිවකිනුදු මැරෙත්.

 

(3) මේ කාලයෙහි ම මරණය විය යුතු ය. අන් කලෙක මරණය නො විය යුතු යයි ව්‍යවස්ථා නැති බැවින් අනිමිත්ත ය. සත්ත්‍වයෝ පෙරවරු ද මැරෙති. පස්වරු ආදියෙහි ද මැරෙත්.

 

(4) මැරෙන්නවුන් ගේ දේහය මෙහි ම වැටිය යුතු ය. අන් තැනෙක නො වැටිය යුතුය යි ව්‍යවස්ථා රහිත බැවින් අනිමිත්ත ය. ඇතුළු ගම උපන්නවුන්ගේ දේහය පිට ගම ද පිට ගම උපන්නවුන්ගේ දේහය ඇතුළු ගම ද ගොඩ උපන්නවුන්ගේ දේහය දියෙහි ද දියෙහි උපන්නවුන්ගේ දේහය ගොඩ ද වැටිය හැකි ය.

 

(5) මෙයින් චුත වූවත් අසුවල් තැන ඉපදිය යුතුය යි ව්‍යවස්ථා නැති බැවින් අනිමිත්ත ය. දෙව්ලොවින් සැවැ මිනිස් ලොව ද මිනිස් ලොවින් සැවැ දෙව්ලෝ ආදියෙහි ද උපදිත්. මෙසේ සත්ත්‍වයෝ යන්ත්‍රයෙහි යෙදූ ගොනුන් මෙන් ගති පඤ්චක ලෝකයෙහි කැරකෙන්නාහ.

 

මෙසේ අනිමිත්ත වශයෙන් මරණය සිහි කළ යුතු.

 

7.  අද්ධාන පරිච්ඡේදය

 

අද්ධාන පරිච්ඡෙද නම් කාල පරිච්ඡෙද ය. මෙකල මනුෂ්‍යයන්ගේ ජීවිතය මෙතෙක් කල් විය යුතු ය යි කාල පරිච්ඡේදයෙක් නැත. යමෙක් වැඩි කල් ජීවත් වන්නේ නම් හේ අව්රුදු සියයක් හෝ ඉන් ස්වල්පයක් වැඩි වැ හේ ජීවත් වන්නේ ය. වදාළේ මැ යි.

 

“අප්පමිදං භික්ඛවෙ මනුස්සානං ආයු, ගමනීයො සම්පරායො, කත්තබ්බා කුසලං, චරිතබ්බා බ්‍ර‍හ්මචරියං, නත්‍ථි ජාතස්ස අමරණං, යො භික්ඛවෙ චිරං ජීවති, යො වස්ස සතං අප්පං වා භීය්‍යො”[282] යි. ‘මහණෙනි! මිනිසුන්ගේ ආයුෂය ස්වල්ප ය. පරලෝ යා යුතු ය. කුශල කළ යුතු ය. බඹසර විසිය යුතු ය. උපන්නවුන්ගේ නො මැරී සිටීමෙක් නැත. මහණෙනි? යමෙක් වැඩි කල් ජීවත් වේ නම් හේ ශත වර්‍ෂයක් හෝ ඉන් ස්වල්ප වැඩියක් හෝ ජීවත් වේ.’

 

“අප්පමායු මනුස්සානං - හීළෙය්‍ය නං සුපොරිසො

චරෙය්‍යාදිත්තසීසො‘ව - නත්‍ථි මච්චුස්ස නාගමො.”[283]

 

‘මිනිසුන්ගේ ආයුෂ ස්වල්ප ය. සත්පුරුෂ ඒ සම්භාවනා නො කරන්නේ ය. හේ හිස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේ ය. මාරයා අනාගමනයෙක් නැත. ඒකාන්තයෙන් මාරයා පැමිණෙන්නේ ය.

 

තවද,

 

“භූතපුබ්බං භික්ඛවෙ අරකො නාම සත්‍ථා අහොසි”[284] යනාදීන් වදාළ සප්තෝපමාවෙකින් ප්‍ර‍තිමණ්ඩිත වූ අරක සූත්‍රයෙන් ද මේ අර්‍ථය ප්‍ර‍කාශ වන්නේ ය. යටගිය දවස අරක නම් ශාස්තෘවරයාණකෙනෙක් වූහ. ඔව්හු උපමා සතකින් මරණානුස්මෘතිය ප්‍ර‍කාශ කොටැ ලෝ සතුන් බිය ගන්වා සුචරිතයෙහි යෙදූහ. ‘හිරු උදා වත් ම තණ’ග පිණිබිඳු සේ, දියෙහි නැගි බුබුලු සේ, දිය ඇඳි ඉර සේ, පර්‍වතයෙන් ගලා බස්නා ගංගාව සේ, දිවග කෙළ පිඩ සේ, රත් යකබල මස් කැබැල්ල සේ, මස් ලොඹුව කරා ගෙන යන ගවයා සේ, මනුෂ්‍ය ජීවිතය ඇසිල්ලක් පාසා මරණයට ළං වන්නේ ය. එය ස්වල්පය, විනිශ්චරය, බහු දුඃඛය, බහූපායාසය, නුවණින් දත යුතු ය. කුසල් කටයුතු ය, බඹසර විසිය යුතු ය, උපන්නහුට නො මැරී විසීමෙක් නො වේ’ යනු එහි සංක්‍ෂිප්තාර්‍ථ යි.

 

“යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති, අහො වතාහං රත්තිං දිවං ජීවෙය්‍යං භගවතො සාසනං මනසිකරෙය්‍යං, බහුං වත මෙ කතං අස්සාති. යො ‘පායං භික්ඛවෙ භික්ඛු එවං මරණංති භාවෙති, අහො වතාහං දිවසං ජිවෙය්‍යං -පෙ- අහො වතාහං තදන්තරං ජීවෙය්‍යං යදන්තරං එකං පිණ්ඩපාතං භුඤ්ජාමි -පෙ- අහෝ වතාහං තදන්තරං ජීවෙය්‍යං යදන්තරං චත්තාරො පඤ්ච ආලොපෙ සංඛාදිත්‍වා අජ්ඣොහරාමි -පෙ- ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛු පමත්තා විහරන්ති දන්‍ධං මරණ සතිං භාවෙන්ති ආස වානං ඛයාය.

 

“යොච ඛවායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති, අහො වතාහං තදන්තරං ජීවෙය්‍යං යදන්තරං එකං ආලොපං සංඛාදිත්‍වා අජ්ඣොහරාවි භගවතො සාසනං මනසිකරෙය්‍යං, බහුං වත මෙ කතං අස්සාති. යො ‘පායං භික්ඛවෙ භික්ඛු එවං මරණංති භාවෙති, අහො වතාහං තදන්තරං ජීවෙය්‍යං යදන්තරං අස්සසිත්‍වා වා පස්සසාමි පස්සසිත්‍වා වා අස්සසාමි, භගවතො සාසනං මනසිකරෙය්‍යං බහුං වත මෙ කතං අස්සාති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛු පමත්තා විහරන්ති දන්‍ධං මරණ සතිං භාවෙන්ති ආසවානං ඛයාය[285] යි වදාළ ධර්‍මය සලකනු. එහි සංක්‍ෂිපතාර්‍ථ මෙසේ ය.

 

“අහෝ මම එක් රෑ දාවලක් ජීවත් වන්නෙමි නම් යහපති. ඒ කාලය තුළ මම බුද්ධ ශාසනය සිහි කැරැ ගන්නෙමි. එයින් ම විසින් බොහෝ ආත්ම හිත කැරැ ගන්නා ලද්දේ වන්නේ ය. අහෝ මම එක් දාවලක් ජීවත් වන්නෙම් නම් යහපති -පෙ- අහෝ මම එක් පිණ්ඩපාතයක් වළඳන තාක් කල් ජීවත් වන්නෙම් නම් යහපති -පෙ- අහෝ මම බත් පිඬු සතරක් පසක් වළඳන තාක් කල් ජීවත් වන්නෙම් නම් යහපති. ඒ කාලය තුළ මම බුද්ධ ශාසනය සිහිකැරැ ගන්නෙමි. එයින් ම විසින් බොහෝ ආත්ම හිත කැරැ ගන්නා ලද්දේ වන්නේ ය. මහණෙනි! යම් කෙනෙක් මෙසේ මරණ සති වඩද්ද ඔව්හු දන්‍ධ වැ මරණ සති වඩන්නෝ ය. ඔව්හු ආශ්‍ර‍වක්‍ෂය පිණිස ප්‍ර‍මත්ත වැ වසන්නෝ ය.

 

‘මහණෙනි! යම් කෙනෙක් “අහෝ මම එක් ආලෝපයක් මුව තබා ගිලින තාක් ජීවත් වන්නෙම් නම් යහපති. -පෙ- ආශ්වාස කොටැ ප්‍ර‍ශ්වාස කරන තාක් හෝ ප්‍ර‍ශ්වාස කොට ආශ්වාස කරන තාක් හෝ ජීවත් වන්නෙම් නම් යහපති. ඒ කාලය තුළ මම බුද්ධ ශාසනය සිහි කැරැ ගන්නෙමි. එයින් ම විසින් බොහෝ ආත්ම හිත කැරැ ගන්නා ලද්දේ වන්නේ ය යි මරණ සති වඩත් නම් ඔව්හු තීක්‍ෂණ වූ මරණ සති වඩන්නෝ ය. ඔව්හු ආශ්‍ර‍වක්‍ෂය පිණිස අප්‍ර‍මධ්ත වැ වසන්නෝ ය.

 

මෙසේ පිඬු සතරක් පසක් කා ගිලින තරම් කාලයටත් විශ්වාස නො තබා ජීවිත කාලය ස්වල්පයයි අද්ධාන පරිච්ඡේද වශයෙන් මරණය සිහිකළ යුතු යි.

 

8.  ඛණපරිත්තය

 

ජීවිතය ඉතා ස්වල්ප ක්‍ෂණයක් පවත්නා වශයෙන් ද සලකා මරණය සිහි කළ යුතු. කෙසේ ද පරමාර්‍ථ වශයෙන් සත්ත්‍වයන්ගේ ජීවිත ක්‍ෂණය ඉතා ස්වල්ප ය. එක චිත්ත ක්‍ෂණයක් පමණ වූ ම කාලයක් වන්නේ ය. රථ චක්‍ර‍ය පෙරලෙන්නේ එක නෙමි ප්‍රදෙශයෙකින් ම පෙරළෙන්නා සේ සිටින්නේත් එක නෙමි. ප්‍රදෙශයෙකින් ම සිටිනා සේ සත්ත්‍වයන්ගේ ජීවිතය ද එක චිත්ත ක්‍ෂණයෙකින් ම පවත්නේ ය ඒ චිත්ත ක්‍ෂණය නිරුද්ධ කල්හි සත්ත්‍වයා මළේ ය, නිරුද්ධ වූයේ ය යි කියනු ලැබේ.

 

වදාළේ මැ යි.

 

“අතීතෙ චිත්තක්ඛණෙ ජීවිත්‍ථ, න ජීවති, න ජීවිස්සති. අනාගතෙ චිත්තක්ඛණෙ න ජීවිත්‍ථ, න ජීවති, ජීවිස්සති, පච්චුප්පන්නෙ චිත්තක්ඛණෙ න ජීවිත්‍ථ, ජීවති, නජීවිස්සති.” ‘අතීත හෙවත් නිරුද්ධ චිත්තක්‍ෂණයෙහි සත්ත්‍වයා ජීවත් වූයේ ය. ඒ නිරුද්ධ චිත්තක්‍ෂණයෙන් දැන් ජීවත් වෙමින් සිටින්නේ නො වේ. මතු ජීවත් වන්නේ ද නො වේ. අනාගත චිත්තක්‍ෂණයෙහි සත්ත්වයා ජීවත් වූයේ නො වේ. දැන් ජීවත් වෙමින් සිටින්නේ ද නො වේ. මතු ජීවත් වන්නේ ය. වර්‍තමාන චිත්තක්‍ෂණයෙහි සත්ත්වයා ජීවත් වූයේ නො වේ. දැන් ජීවත් වෙමින් සිටී මතු ජීවත් වන්නේ නො වේ’ යනු එහි අර්‍ථ යි.

 

“ජීවිතං අත්තභාවො ච - සුඛ දුක්ඛා ච කෙවලා,

එකචිත්තසමායුත්තා - ලහුසො වත්තතෙ ඛණො,

යෙ නිරුද්ධා මරන්තස්ස - තිට්ඨමානස්ස වා ඉධ,

සබ්බෙපි සදිසා ඛන්‍ධා - ගතා අප්පටිසන්‍ධියා.

අනිබ්බත්තෙන න ජාතො - පච්චුප්පන්නෙන ජීවති

චිත්තහඞ්ගා මතො ලොකො - පඤ්ඤත්ති පරමට්ඨියා”

 

‘ජීවිතය ද, ආත්ම භාවය ද, සුඛ දුඃඛ වේදනාව ද යන මෙය හුදෙක් එක චිත්තක්‍ෂණයෙකින් යුක්ත ය. ජීවිත ක්‍ෂණය වහා පෙරලෙ යි’ (ආත්ම භාව යන්නෙන් මෙහි ජීවිත - වේදනා - විඤ්ඤාණ හැරැ සෙස්ස ගත යුතු ය)

 

‘මැරෙන පුද්ගලයාගේ නිරුද්ධ වූ ස්කන්‍ධයෝ ද, දැන් මෙහි ජීවත් වන පුද්ගලයාගේ නිරුද්ධ වූ ස්කන්‍ධයෝ ද යන මේ සියල්ලෝ සමානයෝ ය. ඒ දෙපක්‍ෂයෙහි ම වූවෝ ප්‍ර‍තිසන්‍ධාන (ගැළපීම්) රහිත වැ ම ඉක්ම ගියෝ ය” (ජීවිතය එක චිත්තක්‍ෂණක ය.)

 

‘මේ ලෝක සත්ත්‍වයා නූපන් සිතින් නූපන්නේ ය. දැන් පවත්නා සිතින් ජීවත් වන්නේ ය. චිත්තයාගේ භඞ්ගයෙන් මැරෙණේ ය’ (ඒ ඒ ධරන සිත් නිසා තිස්සයා ජීවත් වන්නේ ය. යනාදි වචන ප්‍ර‍වෘත්තිය විෂය වූ) සන්තාන ප්‍ර‍ඥප්තීය පරමාර්‍ථ යි නො නස්නේ යි.

 

මෙසේ ඛණපරිත්ත වසයෙන් මරණය සිහි කළ යුතු යි.

 

මෙසේ දැක්වූ අට ආකාර අතුරෙන් කිසියම් ආකාරයෙකින් සිහි කරත් ම නැවත නැවත සිහිකිරීම් වශයෙන් සිත එකඟ වන්නේ ය. මරණාරම්මණ සතිය පිහිටන්නේ ය. නීවරණ විෂ්කම්භන වන්නේ ය ධ්‍යානාඞ්ග පහළ වන්නේ ය. එසේ වුව ද මරණ අරමුණ ස්වභාව ධර්‍මයක් හෙයින් ද, සංවේග ජනක හෙයින් ද ධ්‍යානය අර්පණා ප්‍රාප්ත නො වැ උපචාර ප්‍රාප්ත ම වන්නේ ය.

 

ප්‍ර‍ශ්නයෙකි - නිර්වාණය අරමුණු කොටැ ලෝකෝත්තර ධ්‍යාන ද ප්‍ර‍ථම - තෘතීය අරූපාවචර සිත් අරමුණු කොට ද්විතීයචතුර්‍ථ අරූපාවචර ධ්‍යාන ද අර්පණා ප්‍රාප්ත වේ එහි නිර්වාණය ද, ප්‍ර‍ථම - තෘතීය ධ්‍යාන සිත් ද ස්වභාව ධර්‍ම නො වේ ද, මෙහි අර්පණා ප්‍රාප්ත නො වේ ද,

 

උත්තර මෙසේ යි:- ඔව්හු භාවනා විශේෂ හෙයින් අර්පණා ප්‍රාප්ත වෙති. ලෝකෝත්තර ධ්‍යාන අර්පණා ප්‍රාප්ත වන්නේ විශුද්ධි භාවනාක්‍ර‍ම වශයෙනි. අරූපාවචර අර්පණා ප්‍රාප්ත වන්නේ ආරම්මණාතික්‍ර‍ම වශයෙනි. මෙහි ඒ දෙ විධිය ම නැති බැවින් අර්පණා ප්‍රාප්ත නො වේ. උපචාර ප්‍රාප්ත ම වේය යි දත යුතු යි.

 

ඒ මේ ධ්‍යානය ස්මෘති බලයෙන් උපන් බැවින් මරණානුස්මෘතිය යන සංඛ්‍යාවට පැමිණෙන්නේ ය.

 

මේ මරණානුස්මෘති භාවනාවෙහි යෙදුණු භික්‍ෂු නිතර අප්‍ර‍මාද වැ වසන්නේ ය. සියලු භාවයන්හි අනභිරති සංඥාව ලබන්නේ ය. ජීවිත තෘෂ්ණාව හැරැපියන්නේ ය. පාපයට ගර්‍හා කරන්නේ ය. සන්නිධි බහුල නො වන්නේ ය. පරීෂ්කාරයෙහි මසුරු මල නැතියෙක් වන්නේ ය. ඔහුට අනිත්‍ය සංඥාව පුරුද්දට යෙයි ඒ අනුසාරයෙන් දුඃඛ සංඥා ද අනාත්ම සංඥා ද වැටහෙයි. මරණසතිය භාවනා නො කොළෝ මරණාසන්න කාලයෙහි ව්‍යාලමෘග - යක්‍ෂ - සර්‍ප - චෞර - වධක යන මොවුන් විසින් අභිභුත වූවන් සේ වහා සන්ත්‍රාසයට - සම්මොහයට පැමිණෙයි. එසේ නො වැ මේ තෙමේ නිර්‍භය වැ අසම්මුඪ වැ කාලක්‍රියා කරන්නේ ය. මේ අත් බැව්හි ඉදින් නිවන් නො ලද්දේ නම් මරණයෙන් මතු සුගති පරායන වන්නේ ය.

 

“තස්මා හවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො

එවං මහානුභාවාය - මරණානුස්සතියා සදා.”

 

‘එසේ හෙයින් සුප්‍රාඥ මහානුභාව ඇති මරණානුස්මෘතිය සඳහා ඒකාන්තයෙන් නිතර අප්‍ර‍මාද වඩන්නේ යි’

 

මරණානුස්මෘතියෙහි විස්තර කථා නිමි.

 

 

කායගතා සතිය.

 

මරණානුස්මෘතියට අනතුරු වැ කායගතාසතිය දක්වනු ලැබේ. මේ කායගතාසතිය වනාහි බුද්ධෝත්පාද කාලයෙක විනා අන් කලෙක නො ලැබෙන්නේ ය. කිසි අන්‍ය තීර්ථක කෙනෙකුන්ට විෂය නො වන්නේ ය.

 

“එකධම්මො භික්ඛවෙ භාවිතො බහුලිකතො මහතො සංවෙගාය සංවත්තති, මහතො අත්‍ථාය සංවත්තති. මහතො යොගක්ඛෙමාය සංවත්තති, මහතො සතිසම්පජඤ්ඤාව සංවත්තති, ඥාණදස්සනපටිලාභාය සංවත්තති, දිට්ඨධම්ම සුඛවිහාරාය සංවත්තති, විජ්ජාචිමුත්තිඵල සච්ඡී කිරියාය සංවත්තති. කතමො එකධම්මො? කායගතාසති.[286]

 

“අමතං තෙ භික්ඛවෙ පරිභුඤ්ජන්ති යෙ කායගතං සති පරිභුඤ්ජන්ති. අමතං තෙ භික්ඛවෙ න පරිභුඤ්ජන්ති යෙ කායගතා සතිං න පරිභුඤ්ජන්ති.

 

“අමතං තෙසං භික්ඛවෙ පරිභුත්තං - පෙ - අපරිභුත්තං -පෙ- පරිහීනං -පෙ- අපරිහීනං -පෙ- විරද්ධං -පෙ- ආරද්ධං යෙසං කායගතාසති ආරද්ධා[287] යනාදීන් භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් සූත්‍ර‍යන්හි දී නොයෙක් ආකාරයෙන් වර්‍ණනා කරන ලද්දේ ය ‘මහණෙනි! එක ධර්‍මයෙක් භාවිත බහුලීකෘත වූයේ මහත් සංවේග පිණිස, මහත් අර්‍ථ පිණිස, මහත් යෝගක්‍ෂෙම පිණිස, මහත් ස්මෘති සමප්‍ර‍ඥ පිණිස, ඥානදර්‍ශන ප්‍ර‍තිලාභ පිණිස, මේ අත් බැව්හි සැප විහරණ පිණිස, විද්‍යාමුක්ති - ඵල ප්‍ර‍තිවේද පිණිස වන්නේ ය. කවර එක ධර්‍මයෙක් ද කායගතාසතිය යි’

 

‘මහණෙනි! යම් කෙනෙක් කායගතාසති වළඳත් නම් ඔහු නිවන් වළඳති. යම් කෙනෙක් කායගතාසති නො වළඳත් නම් ඔහු නිවන් නො වළඳිත්’

 

‘මහණෙනි! යම් කෙනෙකුන් විසින් කායගතා සති වැළඳිණි නම් ඔවුන් විසින් නිවන් වැළඳිණි - නො වැළඳිණි නම් නිවන් නො වැළඳිණි-පිරිහිණි නම් නිවන් පිරිහිණි - නො පිරිහිණි නම් නිවන් නො පිරිහිණි - වැරදිණි නම් නිවන් වැරදිණි - නො වැරදිණි නම් නිවන් නො වැරදිණි නම් නිවන් නො වැරදිණි’යනු එහි අර්‍ථ යි.

 

මෙසේ වර්‍ණනා කොටැ වදාරා වැළිත් “කථං භාවිතා ච භික්ඛවෙ කායගතාසති කථාං බහුලිකතා මහප්ඵලා හොති මහානිසංසා. ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා”[288]

 

‘මහණෙනි! කෙසේ භාවිත බහුලීකෘත කායගතාසතිය මහත් ඵල මහානිසංස වන්නේ ද, මහණෙනි! මේ සසුන්හි මහණ අරණ්‍ය ගත වූයේ, යනාදීන් ආනාපාණපබ්බ - ඉරියාපථපබ්බ - චතුසම්පජඤ්ඤපබ්බ - පටික්කුලමනසිකාරපබ්බ - ධාතු මනසිකාරපබ්බ - නවසීවථිකපබ්බ යන මේ තුදුස් පබ්බ වශයෙන් දක්වන ලද්දේ ය. ඒ තුදුස් පබ්බ අතුරෙන් ඉරියාපථ - චතුසම්පජඤ්ඤ - ධාතු මනසිකාර යන පබ්බ තුන වදාළේ විදර්‍ශනා වශයෙනි. නවසීවථිකපබ්බ වදාළේ විදර්‍ශනා ඥානයෙහි ම ආදීනවානුපස්සනා වශයෙනි. ඉන් උද්ධුමාතකාදියෙහි යම් සමාධි භාවනාවෙක් සිද්ධ වේ නම් එය අශුභ නිර්‍දෙශයෙහි දක්වන ලද්දේ ය. එවිට මෙහි සමාධි වශයෙන් දැක්විය යුත්තේ ආනාපාණපබ්බය හා පටික්කුලමනසිකාරපබ්බය යි. ඉනුදු ආනාපාණපබ්බය ආනාපාණ සති වශයෙන් වෙන ම කර්‍මස්ථානයෙකි.

 

“පුනචපරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්‍ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති. අත්‍ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො, මංසං නහාරූ අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං, හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං, අන්තං අන්තගුණං උදරියං කරීයං, (මත්‍ථලුඞ්ග) පිත්තං සෙමභං පුබ්බෙ ලොහිතං සෙදො මෙදො, අස්සු වසා ඛෙලො සිඞ්ඝානිකා ලසිකා මුත්තං[289] යි මත්‍ථලුඞ්ග ඇටමිදුලුයෙහි බහා පටික්කුලමනසිකාර වශයෙන් යම් ද්වත්තිංසාකාර කර්‍මස්ථානයක් වදාළ සේක් නම් එය මෙහි ලා “කායගතාසති” ය යි දතයුතු. එහි පාළි වර්‍ණනා පූර්‍වක භාවනා විදිය දක්වනු ලැබේ.

 

යට දැක්වුණු පාළියෙහි අර්‍ථ මෙසේ ය.

 

‘මහණෙනි වැළි දු භික්‍ෂු තෙමේ පතුලින් උඩ කෙසගින් යට සිවියෙන් පිරිසුන් මේ චාතුර්‍මහාභුතික පූතිකාය නානාවිධ අසුචියෙන් පිරුණේය’යි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරෙ යි. කෙසේ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ ද, මේ කයෙහි කෙස් ඇත්තේ ය, මේ කයෙහි ලෝම ඇත්තේ ය. මේ කයෙහි නිය ඇත්තේ ය. මේ කයෙහි දත් ඇත්තේ ය. මේ කයෙහි සම ඇත්තේ ය, මේ කයෙහි මස් ඇත්තේ ය, මේ කයෙහි නහර ඇත්තේ ය, ඇට ඇත්තේ ය, ඇට මිදුලු ඇත්තේ ය, වකුගඩු ඇත්තේ ය, හෘදය ඇත්තේ ය, යකන මංශ ඇත්තේ ය, බඩ දිව ඇත්තේ ය, පිහක මංශ ඇත්තේ ය, පපුකැන් ඇත්තේ ය, අතුණු ඇත්තේ ය, අතුණුබහන් ඇත්තේ ය. උදරිය ඇත්තේ ය, මළ ඇත්තේ ය, පිත ඇත්තේ ය, සෙම ඇත්තේ ය, සැරව ඇත්තේ ය, ලේ ඇත්තේ ය, ඩහදිය ඇත්තේ ය, මේද තෙල් ඇත්තේ ය, කඳුළු ඇත්තේ ය, වුරුණු තෙල් ඇත්තේ ය, කෙළ ඇත්තේ ය, සොටු ඇත්තේ ය, සඳමිදුළු ඇත්තේ ය, මුත්‍ර‍ ඇත්තේ ය.

 

මෙහි කාය නම් ශරීරය යි. අශුචි රාශියෙක යන අර්‍ථයෙන් ද, කුත්සිත වූ - පිළිකුල් වූ කේසාදීන්ට ද චක්‍ෂුරෝගාදි අනේක රෝග ශතයන්ට ද ආය හෙයින් - උත්පත්තිස්ථාන හෙයින් ද ශරීරය කාය යි කියනු ලැබේ.

 

ඒ එසේ මැ යි:- පතුලෙහි පටන් උඩ කෙසගෙහි පටන් යට සමෙහි පටන් සරස බඹයක් පරණ වූ මේ ශරීරයෙහි මුළු උත්සාහයෙන් සොයතු දු කිසිවෙක් කිසි මුත්තක් හෝ මැණිකක් හෝ වෛඩුර්‍ය්‍යයක් හෝ අගිලක් හෝ කොකුමක් හෝ කපුරක් හෝ වත්සුණු ආදීන් අතුරෙන් ස්වල්ප පවිත්‍ර‍යක් හෝ නො දක්නේ ය. යළි කුමක් දක්නේ ද, පරම දුර්‍ගන්‍ධ වූ ජුගුප්සා ජනක වූ දර්‍ශනයට පවා නිඃශ්‍රිත වූ කෙස් - ලෝමාදි නානාවිධ අශුභ ම දක්නේ ය. “අත්‍ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා - පෙ - මුත්තං” යි එහෙයින් කියන ලදී. මේ මෙහි පදසම්බන්‍ධ වර්‍ණනාව යි.

 

කායගතාසති භාවනා විධිය

 

මේ කර්‍මස්ථානය වඩනු කැමති ආදිකර්මික කුලදරුවා විසින් යට කී සේ කල්‍යාණ මිත්‍රයෙකු වෙත එළඹැ මෙය ගත යුතු. කර්‍මස්ථාන දායක ආචාර්‍ය්‍ය විසිනිදු සත් වැදෑරුම් උද්ග්‍ර‍හ කෞශල්‍යය හා දස වැදෑරුම් මනසනාර කෞශල්‍යය හා කියා දිය යුතු යි.

 

සප්තවිධ උද්ග්‍ර‍හ කෞශල්‍යය

 

1 වචනයෙන්, 2 සිතින් 3. වර්‍ණ වශයෙන්, 4. ඝණ්ඨාන වශයෙන්, 5. දිසා වශයෙන්, 6. අවකාශ වශයෙන්, 7. පරිච්ඡේද වශයෙන් යන සත් ආකාරයෙන් උද්ග්‍ර‍හ කෞශල්‍යය කියා දිය යුතු.

 

1 වචනයෙන්

 

මේ ප්‍ර‍තිකුල මනසිකාර කර්‍මස්ථානය ත්‍රිපිටකධරයකු වුව ද මෙනෙහි කරන ලද පළමු කොටැ වාග්භෙද කිරීමෙන් ම හෙවත් වචනයෙන් කීමෙන් ම සජ්ඣායනා කටයුතු. එසේ සජ්ඣායනා කරන කල්හි ම මලය දනව් වැසි මහාදේව තෙරුන් ළඟ කමටහන් ගත් ස්ථවිර දෙනමට මෙන් ඇතැම් කෙනකුන්ට කර්‍මස්ථානය ප්‍ර‍කට වන්නේ ය. මහාදේව තෙරුන්වහන්සේ ඒ දෙදෙනාවහන්සේ කමටහන් ඉල්ලූ කල “සාර මසක් මෙ ය සජ්ඣායනා කරව”යි ද්වත්තිංසාකාර පාළිය කියවූහ. ඒ දෙනො වහන්සේට සඟි දෙකක් තුනක් ප්‍ර‍ගුණ වැ තිබුණේ ය.

 

ඔව්හු ගෞරවයෙන් කමටහන ගෙන සාර මස සජ්ඣායනා කිරීමෙන් ම සෝවාන් වූහ. එබැවින් කමටහන දෙන ආචාර්‍ය්‍ය විසින් “පළමුකොට මෙය වචනයෙන් කියමින් ම සජ්ඣායනා කරව”යි අතවැස්සාට කිය යුතු ය. අතවැස්සා විසිනුදු තචපඤ්චකාදීය පරිච්ඡේද කොටැ අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් සජ්ඣායනා කටයුතු ය.

 

“කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ”යි කියා යළි ප්‍ර‍තිලෝම වශයෙන් “තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා” යි කිය යුතු.

 

ඉක්බිති වක්ක පඤ්චකයෙහි “මංසං, නහාරූ අට්ඨි අට්ඨිමිඤ්ජා, වක්කං යි කියා ප්‍ර‍තිලෝම වශයෙන් වක්කං, අට්ඨිමිඤ්ජා, අට්ඨි, මංස, තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා”යි කිය යුතු.

 

ඉක්බිති පප්ඵාස පඤ්චකයෙහි හදයං, යකනං, කිලොමකං, පිහකං, පප්ඵාසං” යි කියා යළි ප්‍ර‍තිලෝම වශයෙන් පප්ඵාසං, පිහකං, කිලොමකං, යකනං, හදය, වක්කං, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහරූ, මංසා, තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා”යි කිය යුතු.

 

ඉක්බිති මත්‍ථලුඞ්ග පඤ්චකයෙහි අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, මත්‍ථලුඞ්ග”යි කියා යළි ප්‍ර‍තිලෝම වශයෙන් “මත්‍ථලුඞ්ග, කරීසං, උදරියං, අන්තගුණ, අන්තං, පප්ඵාසං, පිහකං, කිලෝමකං, යකනං, හදයං, වක්ක, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහරූ මංසා, තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා”යි කිය යුතු.

 

ඉක්බිති මෙදච්ඡක්කයෙහි “පිත්තං, සෙම්හං පුබ්බො, ලෝහිතං, සෙදො, මෙදො” යි කියා යළි ප්‍ර‍තිලෝම වශයෙන් “මෙදො, සෙදො, ලොහිතං, පුබ්බො, සෙම්හං, පිත්තං, මත්‍ථලුඞ්ග, කරීසං, උදරියං, අන්තගුණ, අන්තං, පප්ඵාසං, පිහකං, කිලෝමකං, යකනං, හදයං, වක්ක, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහරූ මංසා, තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා”යි කිය යුතු.

 

ඉක්බිති මුත්තචඡක්කයෙහි “අස්සු, වසා, ඛෙලො, සිඞ්ඝාණිකා, ලසීකා, මුත්තං” යි කියා යළි ප්‍ර‍තිලෝම වශයෙන් “මුත්තං, ලසිකා, සිඞ්ඝාණිකා, ඛෙලෝ, වසා, අස්සු, මේදො, සෙදො, ලොහිතං, පුබ්බො, සෙම්හං, පිත්තං, මත්‍ථලුඞ්ග, කරීසං, උදරියං, අන්තගුණ, අන්තං, පප්ඵාසං, පිහකං, කිලෝමකං, යකනං, හදයං, වක්ක, අට්ඨිමිඤ්ජා, අට්ඨි, නහරූ මංසා, තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා”යි කිය යුතු.

 

(පෘථිවි ධාතු බහුල බැවින් මත්‍ථලුඞ්ග - “කරීසං, මත්‍ථලුඞ්ගං”යි කරීසය අවසන් කොට කීහ. මෙහි වනාහි “මංසං, නහාරූ, අට්ඨි, අට්ඨිමිඤ්ජා, වක්කං, වක්කං, අට්ඨිමිඤ්ජා, අට්ඨිනහාරු, මංසං, තචො, දන්තා, නඛා, ලෝමා, කේසා”යි මෙසේ වක්ක පඤ්චකාදියෙහි අනුලෝම වශයෙන් සජ්ඣාය කියා ප්‍ර‍තිලෝම සජ්ඣාය පුරිමයන් හා සම්බන්‍ධ කොටැ කියන ලද, මෙසේ සජ්ඣාය ක්‍ර‍මය සම්මෝහවිනෝදනියෙහි වෙන වෙන තුන් පඤ්චාහයෙක පුරිමයන් හා එක් කොටැ තුන් පඤ්චාහයෙකැයි පඤ්චාහ ෂට්කයන් සජ්ඣාය කටයුතුයි යමක් කියන ලද ද, ඔහු ආදි අන්ත දක්වන පිණිස කියන පදැ යි දත යුතු. සම්මෝහවිනොදනියෙහි තචපඤ්චකයෙහි යට කී නියමය අනුලෝමයෙන් ම පස් දවසෙක පටිලෝමයෙන් පස් දවසෙක, අනුලෝම පටිලෝමයෙන් පස් දවසෙකැයි අඩමසක් සජ්ඣාය කටයුතු ය. ඉක්බිති ආචාරීන් සමීපයට ගොස් වක්කපඤ්චකය ඉගෙනැ එසේ අඩමසක් සජ්ඣාය කටයුතුය. ඉක්බිත්තෙන් ඒ දස කොටසුන් එක් කොටැ ගෙනැ අඩමසෙක, ඒ විසි කොටසුන් එක් කොට ගෙනැ අඩමසෙක, නැවත පප්ඵාසපඤ්චකාදියෙහි දු එකි එකී පඤ්චකය ඉගෙනැ අඩ අඩමසෙක, ඉක්බිත්තෙන් ඒ පසලොස් කොටසුන් එක් කොටැ ගෙනැ අඩමසෙක, මත්‍ථලුඞ්ගපඤ්චකය අඩමසෙක, ඒ විසි කොටසුන් එක් කොටැ ගෙනැ අඩමසෙක, මෙදච්ඡක්කය අඩමසෙකැ, මුත්තච්ඡක්කය අඩමසෙක ඉක්බිති සියලු දෙතිස් කොටසුන් එක් කොටැ ගෙනැ අඩමසෙකැයි මෙසේ සමසක් සජ්ඣාය කටයුතු ය යි කියන ලද. එහි ආදි වූ අනුලෝම සජ්ඣාය ද, අනුලෝම පටිලෝම සජ්ඣායයෙහි අන්ත වූ පටිලෝම සජ්ඣාය ද මෙහි දක්වන ලදැ යි දත යුතුයි. සජ්ඣාය කාලයෙහි ම කේසාදි කොට්ඨාසයන්ගේ වර්‍ණ නිමිත්තය, පරිච්ඡෙදනිමිත්තය යන මොවුන් තෙප්ලෙන් පැහැර පැහැරැ එකි එකී කොටස්හි මෙ ම වැන්නැ යි තුන් පරිද්දෙන් සජ්ඣාය කටයුතු යි” යනු සන්න යි.)

 

මෙසේ සියල් කල් දහස් කල් සියදහස් කල් වචනයෙන් කියා කියා සජ්ඣායනා කටයුතු. එයින් කමටහන් පෙළ පුහුණු වෙයි. සිත ඔබ මොම නුදුව යි. කොටස් ප්‍ර‍කට වෙයි. හත්‍ථ සංඛලිකාවක් සේ ද, වතිපාදපන්තියක් සේ ද වැටහෙයි. (හත්‍ථ සංඛාලිකා නම් දෙ අත ඒකමුඛ කොටැ ඔවුනොවුන් හා සම්බන්‍ධ කොටැ තබන ලද ඇඟගි”යි. වතිපාදපන්ති නම් වැටෙහි ඉනි පෙළ යි.)

 

2. සිතින්

 

වචනයෙන් සේ ම සිතින් ද සජ්ඣායනා කළ යුතු යි. වචනයෙන් කරන සජ්ඣායනාව සිතින් සජ්ඣායනා කිරීමට ද, සිතින් සජ්ඣායනාව අශුභ ලක්‍ෂණාවබෝධයට ද උපකාර වන්නේ ය.

 

3. වර්‍ණ වශයෙන්

 

කේශාදීන්ගේ වර්‍ණය ව්‍යවස්ථා කට යුතු යි.

 

4. සණ්ඨාන වශයෙන්

 

කේශාදීන්ගේ සටහන් ව්‍යවස්ථා කට යුතු යි.

 

5. දිශා වශයෙන්

 

ශරීරයෙහි නාභියෙන් උඩ උඩදිසා ය. නාභියෙන් යට යට දිසා ය. මේ කේසාදි කොටස් මේ මේ දිශායෙහි යයි දිශා ව්‍යවස්ථා කට යුතු යි.

 

6. අවකාශ වශයෙන්

 

මේ කොටස් මේ මේ අවකාශයෙහි යයි අවකාශ ව්‍යවස්ථා කට යුතු යි.

 

7. පරිච්ඡේද වශයෙන්

 

සභාගපරිච්ඡේදය, විසභාගපරිච්ඡේදය යි පරිච්ඡේද දෙකෙකි. මේ කේසාදි කොටස් යට හා මතු හා සරස හා මෙ නම් දෙයින් පරිච්ඡින්න යි සභාගපරිච්ඡෙදය ද, මේ කෙස් ය, ලොම් නොවේ, මේ ලොම් ය, කෙස් නොවේ ය යි අමිශ්‍ර‍ වශයෙන් විසභාග පරිච්ඡෙද ය ද දත යුතුයි.

 

මෙසේ සප්තවිධ උද්ග්‍ර‍හ කෞශලය්‍ය කියා දීලා වැළි මේ කර්‍මස්ථානය අසුවල් සූත්‍රයෙහි පිළිකුල් වශයෙන් වදාළේ ය. අසුවල් සූත්‍රයෙහි ධාතු වශයෙන් වදාළේ යයි කියා දිය යුතු යි. මේ වනාහි සතිපට්ඨාන[290] සූත්‍රයෙහි පිළිකුල් වශයෙන් ද, මහා හත්‍ථිපදොපම[291], මහාරාහුලොවාද[292], ධාතුවිභඞ්ග[293] යන්හි ධාතු වශයෙන් ද වදාරන ලද්දේ ය. කායගතාසති[294] සූත්‍රයෙහි වර්‍ණ වශයෙන් වැටහෙන්නවුන් සඳහා චතුර්ථධ්‍යාන බෙදන ලද්දේ ය. එහි ධාතු වශයෙන් වදාළ කොටස විදර්‍ශනා කර්‍මස්ථාන ය. ප්‍ර‍තිකුල වශයෙන් වදාළ කොටස සමථ කර්‍මස්ථාන ය. මෙහි සමථ කර්‍මස්ථාන මැ යි.

 

සප්තවිධ උද්ග්‍ර‍හකෞශල්‍ය විධි යි.

 

මෙසේ උද්ග්‍ර‍හ කෞශල්‍යය කියා දී ඉක්බිති දශවිධමනස්කාර කෞශල්‍යය කියා දිය යුතුයි.

 

දශවිධ මනස්කාර කෞශල්‍යය

 

1.  අනුපූර්‍ව වශයෙන්

2.  නාති ශීඝ්‍ර‍ වශයෙන්

3.  නාති සතික වශයෙන්

4.  වික්‍ෂෙප දුරුකිරීම් වශයෙන්

5.  ප්‍ර‍ඥප්ති ඉක්මීම් වශයෙන්

6.  අනුපූර්‍ව මුඤ්චන වශයෙන්

7.  අර්පණා වශයෙන්

8.  අධිචිත්ත සූත්‍ර‍ වශයෙන්

9.  සීතිභාව සූත්‍ර‍ වශයෙන්

10.     බොජ්ඣඞ්ග කොසල්ල සූත්‍ර‍ වශයෙන්

 

1.  අනුපූර්‍ව වශයෙන්

මේ කර්‍මස්ථානය පුහුණු කරන්නට ගත් තැන පටන් කේශාදි දෙතිස් කොටස් පිළිවෙළින් මෙනෙහි කළ යුතු ය. එකක් හැරැ එකක් මෙනෙහි නො කළ යුතු ය. පෙති දෙතිසකින් යුත් හිණිමඟෙක නඟින අදක්‍ෂ පුරුෂ එක් එක් පෙත්ත හැරැ හැරැ නඟුත් ක්ලාන්ත වැ වැටෙයි. මත්තට නැඟ ගත නො හැකි වෙයි. එමෙන් එකක් හැරැ එකක් මෙනෙහි කරන යෝගාවචර ද භාවනා සම්පත්ති වශයෙන් ලබා ගත යුතු ආස්වාදය නො ලැබැ සිත ක්ලාන්ත වැ වැටෙයි. භාවනාව සම්පාදනය කර ගත නොහැකි වෙයි. එබැවින් පිළිවෙළින් ම මෙනෙහි කළ යුතු යි.

2.  නාති ශීඝ්‍ර‍ වශයෙන්

පිළිවෙළින් මෙනෙහි කරන්නහු විසිනුදු ඉතා ශීඝ්‍ර‍ වශයෙන් මෙනෙහි නො කළ යුතු. තුන් යොදුන් මඟකට පැමිණැ යා යුතු නොයා යුතු තැන් නො සලකා ලහි ලහියේ සිය වරක් හෝ ගමනා ගමනය කරන පුරුෂ හට ද යා යුතු මඟ අවසන් වුවත් යා යුතු නො යා යුතු තැන් විචාරාම යා යුතු වන්නා සේ ශීඝ්‍ර‍ වැ මෙනෙහි කරන්නහුට කර්‍මස්ථානය අවසන් වුවත් විභූත වශයෙන් නො වැටහෙන්නේ ය. විශේෂ ගුණයක් ගෙනැ නො දෙන්නේ ය. එබැවින් අතිශීඝ්‍ර‍ වශයෙන් මෙනෙහි නො කළ යුතු යි.

 

3.  නාති සනික වශයෙන්

ඉතා ශීඝ්‍රයෙන් මෙනෙහි නො කළ යුතු සේ ම ඉතා සෙමෙන් ද මෙනෙහි නො කළ යුතු ය. එක් දවසින් තුන් යොදුන් මඟක් ගෙවා යා යුතු පුරුෂයකු හට අතර මග ගස් ගල්-විල් බලමින් ප්‍ර‍මාද වෙමින් යත් ම දෙතුන් දිනකින් ඒ මඟ ගෙවා යා යුතු වන්නා සේ ඉතා සෙමෙන් මෙනෙහි කරන ලද කර්‍මස්ථානයාගේ අවසානයෙක් නො වන්නේ ය. විශේෂාධිගමකට ප්‍ර‍ත්‍යය ද නො වන්නේ ය.

 

4.  වික්‍ෂේප දුරුකිරීම් වශයෙන්

කර්‍මස්ථානය හැරැ පියා පිටත පුථුත්තාරම්මණයෙහි සිත නෙ හෙලිය යුතු ය. ඒකපදික ප්‍ර‍පාත මාර්‍ගයෙක ගමන් ගත් පුරුෂයා ඇක්මෙන පියා නො සලකා ඔබ මොබ බලමින් යන්නේ පදචාරය වැරදිණි නම් ශතපෞරුෂ ප්‍ර‍පාන්තාතයෙහි හෙන්නා සේ චිත්ත වික්‍ෂේපය ඇති කල කර්‍මස්ථානය පිරිහෙන්නේ ය - නැති වැ යන්නේ ය. එ බැවින් වික්‍ෂේප දුරු කිරීම් වශයෙන් මෙනෙහි කට යුතු යි. (රූපාදීහු නීලාදි විසින් නානා ස්වභාව ඇති හෙයින් පුථුත්තාරම්මණ නම් වෙත්. අශුචිය, පිළිකුලැ යි කේශාදියෙහි පැවතිය යුතු වූ අශුභානුදර්‍ශනාව හැරැ ශුභාදි විසින් ගන්නා ලබන කේශාදීහු බහිද්ධා පුථුත්තාරම්මණ නම් වෙති යි දත යුතු” යනු සන්න යි.)

 

5.  ප්‍ර‍ඥප්ති ඉක්මීම් වශයෙන්

කෙස් ය, ලොම් ය යනාදි වශයෙන් පැවති ප්‍ර‍ඥප්තිය ඉක්මැ පිළිකුල් ය යි සිත තැබිය යුතු යි. ජල දුර්‍ලභ නියං සමයෙහි මිනිස්සු වල්හි ලිඳක් දුටු නම් එහි තලපත් ආදි සලකුණු බැඳ ඒ සලකුණින් අවුත් නහති. පැන් බොති. නිතර එහි ගමනාගමනයෙන් ගමන් මග ප්‍ර‍කට වූ කල ඒ සලකුණින් ප්‍රයොජන නැත. රිසි සේ ඇසිල්ලෙහි අවුත් නහති. පැන් බොති. එමෙන් පූර්‍වභාගයෙහි කෙස් ය, ලොම් ය යනාදි වශයෙන් ප්‍ර‍ඥප්තිය මෙනෙහි කරන කල පිළිකුල් බව ප්‍ර‍කට ය. ඉක්බිති ඒ ප්‍ර‍ඥප්තිය ඉක්මැ පිළිකුල් බැව්හි ම සිත යෙදිය යුතු යි.

 

6.  අනුපූර්‍ව මුඤ්චන වශයෙන්

දෙතිස් කොටස් අතුරෙන් යම් යම් කොටසෙක් නො වැටහේ නම් ඒ නො වැටහෙන කොටස් හැරැ පීමෙන් අනුපූර්‍ව මුඤ්චන වශයෙන් මෙනෙහි කළ යුතු. ඒ කළ යුතු මෙසේ ය.

 

ආදි කර්මිකයා ‘කේසා’ යි මෙනෙහි කරත් ම මනසිකාරය ගොස් “මුත්තං යන අවශාන කොටසෙහි හැපී සිටින්නේ ය. ‘මුත්තං’ යි මෙනෙහි කරත් ම ‘කේසා’ යන ප්‍ර‍ථම කොටසෙහි හැපී සිටින්නේ ය. මෙසේ මෙනෙහි කරත් කරත් ඔහුට ඇතැම් කොටස් වැටහී සිටියි. ඇතැම් කොටස් නො වැටහී සිටියි. එවිට වැටහෙන කොටස් ගෙනැ එහි භාවනා කටයුතු ය. දෙකක් වැටහෙන කල ඉනි දු වඩා වැටහෙන කොටස් ගෙනැ එම මෙනෙහි කිරීමෙන් අර්පණා උපදවා ගත යුතු යි.

 

උපමාවෙක් මෙසේ ය :- තල් රුක් දෙතිසක් ඇත් තල් වනයෙකි. එහි වඳුරෙක් වසන්නේ ය. ඌ අල්වාගනු කැමති වැද්දෙක් ඌ ලැගුම් ගෙනැ සිටි මුල් තල් රුකෙහි කොළයට ඊයෙන් විදැ ඔල්වර හඩ නගන්නේ ය. වඳුරා පිළිවෙළින් ඒ ඒ තල් රුකට පැනැ පැනැ ගොස් අවශාන තල් රුකට යන්නේ ය. වැද්දා එහි දු ගොස් පෙර සේ ඊයෙන් විදැ හඩ නගන්නේ ය. එවිට වඳුරා පෙර සේ රුකින් රුකට පැනැ පැනැ ගොස් මුල් තල් රුකට එන්නේ ය. මෙසේ උන් තැනින් උගුළුවනු ලබන්නේ හඩ නැඟු නැඟු තන්හි නැඟිටැ පසු වැ එක් තලකට පැනැ එහි මැද තල් ගොබ් දණ්ඩ අල්වා ගන්නේ ය. විදුනු ලැබුවත් නො නැඟෙන්නේ ය. එහි තල් වනයෙහි දෙතිස් තල් රුක් මෙනි මේ ශරීරයේ දෙතිස් කොටස්, වඳුරා මෙනි සිත, වැද්දා මෙනි යෝගාවචර දෙතිස් තලක් ඇති කල් වනයෙහි වඳුරාගේ විසිම මෙනි දෙතිස් කොටස් ඇති සිරුරෙහි චිත්තයා ගේ අරමුණ වශයෙනි හැසිරීම. වැද්දා මුල් තලෙහි කොළ හීයෙන් විදැ හඬ නැගූ කල වඳුරා තලින් තල පැනැ අවශාන තලට යාම මෙනි යොගී “කේසා”යි මෙනෙහි කරන්නට වන් කළ පිළිවෙළින් ගොස් සිත අවශාන කොටසෙහි හැපී සිටීම. එහි දු හඬ තැලූ කල වඳුරා පෙරලා ඊම මෙනි සිත පෙරලා මුල් කොටසට ඊම. නැවත නැවත උගුළුවනු ලබන වඳුරා ශබ්ද කළ කළ තැනින් නැඟී සිටීම මෙනි නැවත නැවත මෙනෙහි කරත් ම නො වැටහෙන කොටස් හැරැ වැටහෙන කොටස්හි පරිකර්‍ම කිරීම, අවශානයෙහි එක් තලෙක හී ඊ මැද ගොබ් දණ්ඩ අල්වා ගෙනැ විඳිනු ලැබුවත් නො නැගීම මෙනි අවසානයෙහි වැටහෙන කොටස් දෙකක් ඇති තල්හි ඉනි දු එකක් හැරැ වා වැටහෙන කොටස ගෙනැ එම නැවත නැවත මෙනෙහි කොටැ අර්පණා උපදවීම.

 

තවද උපමාවෙකි

දෙතිස් කුලයක් ඇති ගමෙකි. පිණ්ඩපාතික භික්‍ෂු නමෙක් ඒ ඇසුරු කොටැ වසන්නේය. භික්‍ෂු පිඬු පිණිස යන්නේ ආදි ම ගෙයි භික්‍ෂා දෙකක් ලද නම් ඔබ්බෙහි එක් ගෙයක් හරනේ ය. දෙවන දින භික්‍ෂා තුනක් ලද නම් ඔබ්බෙහි දෙ ගෙයක් හරනේ ය. තෙ වන දින ආදි ගෙයි ම පා පුරා ලද නම් ඔබ්බෙහි නො ගොස් අසුන් හලට වැදැ වළඳන්නේ ය. දෙතිස් කුලයක් ඇති ගම මෙනි ද්වත්තිංසාකාරය. පිණ්ඩපාතික භික්‍ෂු මෙනි යොගී. භික්‍ෂු ඒ ගම නිසා විසුම මෙනි යොගී ද්වත්තිංසාකාරයෙහි පරිකර්‍ම කිරීම. ආදි ම ගෙයි භික්‍ෂා දෙකක් ලැබැ ඔබ්බෙහි එකක් හැරීම ද, දෙවැනි දින භික්‍ෂා තුනක් ලැබැ ඔබ්බෙහි දෙකක් හැරීම ද මෙනි. මෙනෙහි කරත් කරත් නො වැටහෙන කොටස් හැරැ හැරැ වැටහෙන කොටස්හි දෙ කොටස දක්වා පරිකර්‍ම කිරීම. තුන් වැනි දින ආදි ගෙයි ම පා පුරා ලැබැ අසුන් හල හිඳැ වැළඳීම මෙනි ඒ දෙකිනු දු වඩා වැටහෙන්න ගෙනැ එ මැ නැවත නැවත මෙනෙහි කොටැ අර්පණා උපදවීම.

 

7.  අර්පණා වශයෙන්

අර්පණා වන්නේ කොටස් වශයෙනි. කේසාදීන් අතුරෙන් එක් එක් කොටසෙක ම අර්පණා වන්නේය යි කී සේ යි.

 

8.  අධිචිත්ත සූත්‍ර‍ වශයෙන්

“අධිචිත්තමනුයුත්තෙන භික්ඛවෙ භික්ඛුනා තීනි නිමිත්තානි මනසිකාතබ්බාති. කාලෙන කාලං සමාධි නිමිත්තං මනසිකාතබ්බං, කාලෙන කාලං පග්ගහනිමිත්තං මනසිකාතබ්බං, කාලෙන කාලං උපෙක්ඛානිමිත්තං මනසිකාතබ්බං, සචෙ භික්ඛවෙ අධිචිත්තමනුයුත්තො භික්ඛු සමාධිනිමිත්තඤ්ඤෙච මනසිකරෙය්‍ය ඨානං තං චිත්තා කොසජ්ජාය සංවත්තෙය්‍ය. සචෙ භික්ඛවෙ අධීචිත්ත මනුයුත්තොභික්ඛු පග්ගහනිමිත්තඤ්ඤෙච මනසිකරෙය්‍ය ඨානං තං චිත්තං උද්ධච්චාය සංවත්තෙය්‍ය. සචෙ භික්ඛවෙ අධිචිත්තමනුයුත්තො භික්ඛු එකන්තං උපෙක්ඛා නිමිත්තඤ්ඤෙච මනසිකරෙය්‍ය ඨානං තං චිත්තං න සම්මාසමාධියෙය්‍ය ආසවානං ඛයාය.

 

යතො ච ඛො භික්ඛවෙ අධිචිත්තමනුයුත්තො භික්ඛුකාලෙන කාලං සමාධිනිමිත්තං -පෙ- පග්ගනිමිත්තං -පෙ- උපෙක්ඛානිමිත්තං මනසිකරොති තං හොති චිත්තං මුදු ච, කම්මඤ්ඤං ච, පභස්සරං ච න ච පභඞ්ගු. සම්මා සමාධියති ආසවානං ඛයාය.

 

සෙය්‍යථාපි භික්ඛවෙ සුවණ්ණකාරො වා සුවණ්ණා කාරන්තෙවාසී වා උක්කං බන්‍ධති, උක්කං බන්‍ධිත්‍වා  උක්කා මුඛං ආලිම්පති, උක්කං බන්‍ධිත්‍වා උක්කං මුඛං ආලිම්පති, උඛ්කාමුඛං ආලිම්පත්‍වා සණ්ඩාසෙන ජාතරූපං ගහෙත්‍වා උක්කාමුඛෙ පක්ඛිපිත්‍වා කාලෙන කාලං අභිධමති, කාලෙන කාලං උදකෙන පරිප්ඵොසෙති, කාලෙන කාලං අජ්ඣුපෙක්ඛති, සචෙ භික්ඛවෙ සුවණ්ණා කාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං එකන්තං අභිධමෙය්‍ය ඨානං තං ජාතරූපං ඩහෙය්‍ය. සචෙ භික්ඛවෙ සුවණ්ණකාරො වා සුවණ්ණාකාරන්තෙවාසී වා තං ජාතරූපං එකන්තං උදකෙන පරිප්ඵොසෙය්‍ය, ඨානං තං ජාතරූපං නිබ්බාසෙය්‍ය, සචෙ භික්ඛවෙ සුවණ්ණාකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා තං ජාතරූපං එකන්තං අජ්ඣුපෙක්ඛෙය්‍ය ඨානං තං ජාතරූපං න සම්මා පරිපාකං ගච්ඡෙය්‍ය. යතො ච ඛො තං ජාතරූපං කාලෙන කාලං අභිධමති, කාලෙන කාලං උදකෙන පරිප්ඵොසෙති, කාලෙන කාලං අජ්ඣුපෙක්ඛති තං හොති ජාතරූපං මුදු ච කම්මඤ්ඤං ච පහස්සරං ච න ච පභඞ්ගු, සම්මා උපෙති කම්මාය, යස්සා යස්සා ච පිලන්‍ධනචිකතියා ආකඞ්ඛති යදි පට්ටිකාය, යදි කුණ්ඩලාය, යදි ගිවෙය්‍යකාය, යදි සුවණ්ණමාලාය තං චස්ස අත්‍ථං අනුභොති.

 

එවමෙව ඛො භික්ඛවෙ අධිචිත්තමනුයුත්තෙන භික්ඛුනා -පෙ- සම්මා සමාධියති ආසවානං ඛයාය. යස්ස යස්ස ච අභිඤ්ඤා සච්ඡිකරණියස්ස ධම්මස්ස චිත්තං අභිනින්තාමෙති අභිඤ්ඤා සච්ඡිකිරියාය තත්‍ර‍තත්‍රෙව සක්ඛිභත්තං පාපුණාති සති සති ආයතනෙ[295] යනු අධිචිත්ත සූත්‍ර‍ය යි එහි සංක්‍ෂිපතාර්‍ථ මෙසේ ය.

 

‘මහණෙනි! සමථ විදර්‍ශනා භාවනාවෙහි යෙදුණු භික්‍ෂු විසින් නිමිති තුනෙක් මෙනෙහි කළ යුතුය. කලින් කල සමාධිනිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල පග්ගහනිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල උපේක්‍ෂා නිමිත්ත මෙනෙහි කළ යුතුය. මහණෙනි! ඉදින් ඒ භික්‍ෂු සමාධි නිමිත්තම මෙනෙහි කෙළේ නම් සිත නො සන්සුන් බවට වැටෙන්නේ ය. උපෙක්‍ෂානිමිත්ත ම මෙනෙහි කළේ නම් සිත ආශ්‍ර‍වක්‍ෂය පිණිස සමාධිමත් නො වන්නේ ය. මහණෙනි! ඉදින් ඒ භික්‍ෂු කලින් කල සමාධිනිමිත්ත - කලින් කල පග්ගහ නිමිත්ත - කලින් කල උපේක්‍ෂානිමිත්ත මෙනෙහි කෙළේ නම් ඔහුගේ ඒ සිත මෘදු ද, කර්‍මණ්‍ය ද, ප්‍ර‍භාස්වර ද වන්නේන ය. නො බිඳෙන සුලු වන්නේ ය. ආශ්‍ර‍වක්‍ෂය පිණිස මොනවට සමාධිමත් වන්නේ යි.

 

මහණෙනි! රන්කරු හෝ රන්කරු අතවැසි හෝ උදුන සාදා උදුන් මුව ගිනි පත්තු කැරැ අඩුවකින් රත්රන් ගෙනැ එහිලා වරින් වර පිඹින්නේ ය. වරින් වර දිය ඉසින්නේ ය. වරින් වර උපේක්‍ෂක වන්නේ යි. ඉදින් හේ පිම්ඹේ ම නම් රත්රන් පැලහී යන්නේ ය. දිය ම ඉස්සේ නම් නිවී යන්නේ ය. උපේක්‍ෂක ම වූයේ නම් පරිපාකයට නො යන්නේ යි. මහණෙනි! ඉදින් හේ වරින් වර පිම්ඹේ නම් වරින් වර දිය ඉස්සේ නම් වරින් වර උපේක්‍ෂක වූයේ නම් ඒ රත්රන් මෘදු ද, කර්‍මණ්‍ය ද, ප්‍ර‍භාස්වර ද වන්නේ ය. නො බිඳෙන සුලු වන්නේ ය. කර්මාන්ත පිණිස සුදුසු වන්නේ ය. ඉදින් එයින් නළල් පටක් හෝ කුණ්ඩලාභරණයක් හෝ ග්‍රීවාහරණයක් හෝ ස්වර්‍ණමාලාවක් හෝ කරනු කැමති වූයේ නම් එය කළ හැකි වන්නේ ය.

 

මහණෙනි! එහෙයින් සමථ විදර්‍ශනායෙහි යෙදුණු භික්‍ෂු විසින් -පෙ- ආශ්‍ර‍වක්‍ෂය පිණිස සමාධිමත් වන්නේය. අභිඥායෙන් අවබෝධ කටයුතු යුතු වූ යම් යම් ධර්‍මයක් එසේ අවබෝධ කර ගැන්ම පිණිස සිත නැමිණි නම් පූර්‍ව හේතු ආදි කරුණු ඇති කල්හි එය අවබෝධ කැරැ ගත හැකි වන්නේ ය.

 

9.  සිතිභාව සූත්‍ර‍ වශයෙන්

“ජහි භික්ඛවෙ ධම්මෙහි සමන්තාගතො භික්ඛු හබ්බො අනුත්තරං සීතිභාවං සච්ඡිකාතුං. කතමෙ ජහි? ඉධ භික්ඛවෙ භික්ඛු යස්මිං සමයෙ චිත්තං නිග්ගහෙතබ්බං තස්මිං සමයෙ චිත්තං නිග්ගණ්හාති, යස්මිං සමයෙ චිත්තං පග්ගහෙ තබ්බං තස්මිං සමයෙ චිත්තං පග්ගණ්හාති, යස්මිං සමයෙ චිත්තං සම්පහංසිතබ්බං තස්මිං සමයෙ චිත්තං සම්පහංසෙති, යස්මිං සමයෙ චිත්තං අජඣුපෙක්ඛිතබ්බං තස්මිං සමයෙ චිත්තං අජ්ඣුපෙක්ඛිති, පණිතාධිමුත්තකො ච හොති, නිබ්බාණාභිරතො. ඉමෙහි ඛො භික්කවෙ ජහි ධම්මෙහි සමන්තාගතො භික්ඛු භබ්බො අනුත්තරං සීතිභාවං සච්ඡිකාතුං[296] යනු සීතිභාව සූත්‍ර‍ය යි. එහි සංක්‍ෂිපතාර්‍ථය මෙසේ ය.

 

‘මහණෙනි! ධර්‍ම සයෙකින් යුක්ත භික්‍ෂු නිරුත්තර ශීති භාවය-සිහිල් බව - නිර්‍වාණය අවබෝධ කැරැ ගන්නට සමර්‍ථ ය. කවර ධර්‍ම සයෙකින් ද, මහණෙනි! භික්‍ෂු ඉදින් සිතට නිග්‍ර‍හ කටයුතු කල්හි නිග්‍ර‍හ කෙරේ ද, සිතට ප්‍ර‍ග්‍ර‍හ කටයුතු කල්හි උත්සාහ කෙරේ ද, සිත සතුටු කටයුතු කල්හි සතුටු කෙරේ ද සිතට උපේක්‍ෂා කටයුතු කල්හි උපේක්‍ෂා කෙරේ ද, ප්‍ර‍ණිතාධි මුක්තික වේ ද හෙවත් මාර්‍ග ඵලයන්ට නැමුණු සිත් ඇති වේ ද, නිර්‍වාණයෙහි ඇළුණේ වේ ද මහණෙනි! මේ ධර්‍මසයෙන් යුක්ත භික්‍ෂු අනුත්තර ශීතිභාවය අවබොධ කැරැ ගන්නට සමර්‍ථ ය.

 

10.     බොජ්ඣංග කෝසල්ල සූත්‍ර‍ වශයෙන්

බොජ්ඣංග කොසල්ලය වනාහි “එවමෙව ඛො භික්ඛවෙ යස්මිං සමයෙ ලීනං චිත්තං හොති අකාලො තස්මිං සමයෙ පස්සද්ධි සම්බොජ්ඣංගස්ස භාවනාය”[297] යනාදීන් අර්පණා කෞශල්‍ය කථායෙහි දැක්වුණේ ය.

 

මෙසේ යට දැක්වුණු සප්තවිධ උද්ග්‍ර‍හ කෞශල්‍යය මනා වැ දැනැගෙනැ මේ දශවිධ මනස්කාර කෞශල්‍ය වශයෙන් කර්‍මස්ථානය උගත යුතු ය. ඉදින් උහුට ආචාර්‍ය්‍යවරයාණන් සමග එක වෙහෙර විසීම පහසු නම් විස්තර වශයෙන් කියවා නොගෙනැ කර්‍මස්ථානයෙහි යෙදෙමින් විශේෂ ලැබැ ගනිමින් මතු මතු කියවා ගත යුතු ය. අන් තැනෙකැ වසනු කැමති නම් යට කී සේ විස්තර වශයෙන් කියනා ගෙනැ පුන-පුනා තෙප්ලෙනුදු සිතිනුදු පිරිවහා සියලු ගැට තැන් ශුද්ධ කොටැ ගෙනැ පඨවිකසිණයෙහි කී පරිදි නුසුදුසු සෙනසුන් හැරැපියා සුදුසු සෙනස්නෙක වසමින් කුඩා පළිබොධ ද දුරු කොටැ ගෙනැ ප්‍ර‍තිකුල මනස්කාරයෙහි පරිකර්‍ම කල යුතු යි.

 

ඔහු විසින් පළමු කොටැ කේශයෙහි නිමිති ගත යුත. කෙසේ ගත යුතු ද එක කෙස් ගසක් හෝ කෙස් ගස් දෙකක් හෝ කඩා අල්ලේ තබා ගෙනැ පළමු කොට එහි වර්‍ණය සැලකිය යුතු. කපා ලු තැනෙක හෝ ජලපාත්‍රයෙක හෝ කැඳ පාත්‍රයෙක හෝ තිබෙන කෙස් බැලුව ද නිස්සරණධ්‍යාශයෙන් බලන බැවින් වරද නැති. කලු පැහැ කල්හි දුටු නම් කලු පැහැය යි ද, සුදු පැහැ කල්හි දුටු නම් සුදු පැහැය යි ද, ඒ දෙකින් මුසු කල්හි දුටු නම් අධිකයේ පැහැ වශයෙන් ද මෙනෙහි කටයුතු. කෙස් මෙන් ම සියලු තච පංචක ඇසින් ම දැකැ නිමිති ගත යුතු. එසේ නිමිති ගෙනැ සියලු කොටස් වර්‍ණ, සණ්ඨාන, දිශා, අවකාශ, පරිච්ඡෙද වශයෙන් ව්‍යවස්ථා කළ යුතු. එසේ ව්‍යවස්ථා කොට ඉක්බිති වර්‍ණ, වණ්ඨාන, ගන්‍ධ, අසය, අවකාස යන පස් ආකාරයෙන් පිළිකුල් බව ව්‍යවස්ථා කළයුතු. ඒ සියලු කොටස් පිළිබඳ පිළිවෙළ කථාව මෙසේ ය.

 

 

කේශයෙහි වර්‍ණදි පඤ්චවිධ ව්‍යවස්ථාව

 

1 කේස

කෙස් වනාහි ප්‍ර‍කෘති වර්‍ණ වශයෙන් අළුත් පෙනෙල ඇට මෙන් කලු පැහැ ය. සණ්ඨාන වශයෙන් දික් වට තරාදි දඬු බඳු ය. දිශා වශයෙන් උඩ දිශායෙහි පිහිටියේ ය. දෙපස කන් සිලින් ද, ඉදිරිපස නළල් කෙළවරින් ද, පසුපසැ ගලවලුයෙන් ද පරිච්ඡන්න වූ හිස් කබල වසා සිටිතාක් සම් කෙස් අවකාශය ය. ඒ වනාහි පරිච්ඡේද වශයෙන් හිස වසා සිටි සමෙක් වියගක් පමණ ඇතුළු වැ පිහිටා යට ඒ කේශයන්ගේ ම මුල් තලයෙන් ද, මතු අහසින් ද, සරස ඒ ඒ කෙස් ගසින් ද පරිච්ඡන්න ය. ‘කෙස් ලෝම නො වේ. ලෝම කෙස් නො වේ’ යනාදි වශයෙන් සෙසු එක්තිස් කොටස් අසම්මිශ්‍ර‍ බව, කෙස් නම් වෙන ම කොටසෙක යන බව විසභාග පරිච්ඡේදය යි.

 

කේශ පිළිබඳ වර්‍ණදි වශයෙන් පංචවිධ ප්‍ර‍තිකුල ව්‍යවස්ථාව.

 

මේ කෙස් නම් වර්‍ණ වශයෙනුදු පිළිකුලි සණ්ඨාන වශයෙනුදු පිළිකුලි ගන්‍ධ වශයෙනුදු පිළිකුලි. ආශය වශයෙනුදු පිළිකුලි. අවකාශ වශයෙනුදු පිළිකුලි.

 

සිත්කලු වූ ද කැඳ බඳුනෙක වේවා බත් බඳුනෙක වේවා කෙස් වැනි කිසිවක් දැකැ “මේ ආහාරය කෙස් ගසින් මිශ්‍ර‍ ය. බැහැර දමවු ය”යි පිළිකුල් උපදවති. මෙසේ කෙස් වර්‍ණ වශයෙන් පිළිකුලි. රෑ කෑම කන විට කෙස් සටහන් ඇති වරා කෙන්දක් හෝ නියඳ කෙන්දක් හෝ හැපුණ හොත් එසේ ම පිළිකුල් කරති. මෙසේ සණ්ඨාන වශයෙන් පිළිකුලි. තෙල් ගැල්වුම් සුවඳ දුම් කැවීම් ආදියෙන් සංස්කරණ නො කළ කෙස්වල ගඳ ඉතා පිළිකුල් ය. ගින්නෙහි පැළහෙන කෙස්වල ගඳ එයට වඩා පිළිකුල් ය. වර්‍ණ වශයෙන් සණ්ඨාන වශයෙන් කෙස් පිළිකුල් නැතැ යි යම්කමින් කිය හැකි වුව ද ගන්‍ධ වශයෙන් නම් ඒකාන්තයෙන් පිළිකුල්ම ය.

 

ළදරුවන්ගේ වර්චස වර්‍ණ වශයෙන් කසාය වර්‍ණ ය, සණ්ඨාන වශයෙන් කසාය පිඩෙක සණ්ඨාන ය. කසළ ගොඩක ලූ ඉදිමී ගිය කලු බල්ලෙකුගේ මළකුණ වර්‍ණ වශයෙන් පැසුණු තල් ගෙඩියක වර්‍ණ ය, සණ්ඨාන වශයෙන් වට කොටැ ලූ මිහිඟු බෙරක සණ්ඨාන ය. උගේ දත් ද සමන් කැකුළු බඳු ය. ඒ මේ වර්චස් හා බලුකුණ හා වර්‍ණ වශයෙන් සණ්ඨාන වශයෙන් පිළිකුල් නැතැ යි යම්තමින් කිය හැකි වුව ද ගන්‍ධ වශයෙන් නම් ඒකාන්තයෙන් පිළිකුල් ය. එමෙන් කෙසුත් වර්‍ණ වශයෙන් සණ්ඨාන වශයෙන් පිළිකුල් නැතැ යි යම්තමින් කිය හැකි වුව ද ගන්‍ධ වශයෙන් නම් පිළිකුල්ම ය. අපිරිසිදු තන්හි ගම්වැසියන් ගේ මළ-මූ ආදිය වැහීමෙන් සෑදුණු පලාපත් නාගරිකයන්ට පිළිකුල් ය. පරිභෝග නො කළ හැකි ය. එමෙන් කෙස් ද ලේ - සැරව - මළ - මූ - පිත් - සෙම් ආදිය වැහීමෙන් සැදුණේ ය. ඉතා පිළිකුල් ය. මේ ආශය වශයෙන් පිළිකුල් පරිදි යි තවද මේ කෙස් නම් අසූචි ගොඩෙක හටගත් පුස් මෙන් එක්තිසක් පිළිකුල් කොටසෙහි හටගත්තේ ය. සොහොනෙහි කසළගොඩෙහි හටගත් පලා සේ අගල් ආදියෙහි හටගත් පියුම් සේ මහනිල් සේ අශූචි තන්හි හටගත් බැවින් පිළිකුල් ය. මේ අවකාශ වශයෙන් පිළිකුල් පරිදි යි.

 

මෙසේ කෙස්හි මෙන් සෙසු කොටස්හි ද වර්‍ණ, සණ්ඨාන, ගන්‍ධ, ආශ්‍ර‍ය, අවකාශ වශයෙන් පඤ්චවිධ ප්‍රාතිකුල්‍යය දත යුතු. වර්‍ණ, සණ්ඨාන, දිශා, අවකාශ පරිච්ඡේද වශයෙන් සියල්ල වෙනැ වෙන් කොටැ ව්‍යවස්ථා කළ යුතු යි.

 

2 ලෝම

ලෝම වනාහි ප්‍ර‍කෘති වර්‍ණ වශයෙන් කෙස් මෙන් නුමුසු කලු පැහැ ඇත්තේ නො වේ. කලු පිඟුවන් පැහැ ඇත්තේ ය. සණ්ඨාන වශයෙන් අග නැමී ගිය තලමල් බඳු ය. දිශා වශයෙන් උඩ යන යන දෙ දිසායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් කෙස් පිහිටි තැන් හා අතුල් පතුල් හා හැරැ බොහෝ සෙයින් සෙසු මුළු සිරුර වසා සිටි සමෙහි පිහිටියේ ය. පරිච්ඡෙද වශයෙන් ශරීරය වෙළා සිටි සමෙහි ලේඬිත්තකු පමණ ඇතුළට පිවිසැ ගෙනැ යට තම තමාගේ ම මුල් තෙලෙන් ද, මතු අවකාශයෙන් ද, සරස අන්‍යොන්‍ය රෝමයෙන් ද පරිච්ඡන්න වැ සිටියේ ය. ලෝම දෙක්ක එකට පිහිටියා නො වේ. මේ ලෝම පිළිබඳ සභාග පරිච්ඡෙදය යි. විසභාග පරිච්ඡෙදය කේශයට කී නිසා මැයි.

 

3 නඛ

නඛ යනු විසි නියපොතු ය. ඒ වර්‍ණ වශයෙන් ශ්වේත වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් මසුරන්ගේ කොරපොතු බඳු ය. දිශා වශයෙන් පා නියපොතු යට දිශායෙහි ද, අත් නියපොතු උඩ දිශායෙහි ද පිහිටියේ ය. අවකාශ වශයෙන් අඟිලි පිටි අග පිහිටියේ ය. පරිච්ඡෙද වශයෙන් දෙපස හා මුල යන තුන් දිශායෙහි ඇඟලි කෙළවර මසින් ද, පිට හා අග ආකාශයෙන් ද සරස ඔවුනොවුන් විසින් ද, පරිච්ඡන්න ය. නියපොතු දෙකක් එක් වැ නැත්තේ ය. මේ නිසා පිළිබඳ සභාග පරිච්ඡෙදය ය. විසභාග පරිච්ඡෙදය කේශයට කී නියා යි.

 

4 දන්ත

දන්ත යනු සම්පූර්‍ණ දත් ඇතියවුන්ගේ වශයෙන් දෙතිස් දත් ය. එ ද වර්‍ණ වශයෙන් ශ්වේත වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් නොයෙක් සටහන් ය. යට දත් ඇන්දෙහි මැද දත් සතර මැටි පිඬෙක පිළිවෙළින් තුබූ ලබු ඇට බඳු ය. එයින් දැලේ එක එක දත මුල් දෙකක් හා අග් දෙකක් ඇත්තේ ය. ගැලු ධුරයෙහි ඇවිළු විය පෙලු බඳු ය. එයින් දැලේ දත් දෙක මුල් තුනක් හා අග් තුනක් ඇත්තේ ය. එයින් දැලේ දත් දෙක දෙක මුල් සතරක් හා අග් සතරක් ඇත්තේ ය. උඩු ඇන්දෙහි ද මෙසේ යි. දිශා වශයෙන් උඩ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් දෙහණු ඇටෙහි පිහිටියේ ය. පරිච්ඡේද වශයෙන් යට හණු ඇටෙහි පිහිටි තමන්ගේ ම මුල් තලයෙන් ද, මතු අහසින් ද, සරස ඔවුනොවුන් විසින් ද පරිච්ඡන්න ය. දත් දෙකෙක් එක් වැ නැත්තේ ය. මේ දත් පිළිබඳ සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයට කී නියා යි.

 

5 තච.

තච නම් මුළු සිරුර වසා සිටි සම ය. ඒ සම මතුයෙහි කාලවර්‍ණ වූ ද, ශ්‍යාමවර්‍ණ වූ ද පීතවර්‍ණ වූ ද සිවියෙක් ඇත. මුළු සිරුරෙහි පිහිටි සිවිය උලුප්පා ගනු ලැබුවොත් ඩෙබර ගෙඩියක් තරම් වේ. මුල කී සම වර්‍ණ වශයෙන් ශ්වේත වර්‍ණ ය. ඒ බව ප්‍ර‍කට වන්නේ ගිනි දැල්ලකින් හෝ අවියෙකින් හෝ පිට සිවිය නට කල්හි ය. සම සන්ඨාන වශයෙන් සැකෙවින් ශරීර සන්ඨාන ම ය. විස්තර වශයෙන් මෙසේ ය. පා ඇඟිලි සම පටපණු කෝෂ බඳු ය. පිටපතුල් සම පුටබද්ධ උපාහන බඳු ය. පුටබද්ධ උපාහන නම් සියලු පිටපතුල වැසෙන සේ සැදු වහන් ය. ජංඝා සම වැසූ තල්කොළ බඳු ය. කලවේ සම හාල් පිරූ දික් පසුම්බියක් බඳු ය. ආනිසද සම දිය පිරූ පෙරහන් පටක් බඳු ය. පිටෙහි සම පුවරුවක් වසා ලූ සමක් බඳු ය. බඩෙහි සම වීණා බරුවක් වසා ලූ සමක් බඳු ය. ළෙහි සම බොහෝ සෙයින් සතරැස් සටහන් ය. දෑතෙහි සම හියවුරක් වසා ලූ සමක් බඳු ය. පිටි අල්ලෙහි සම කරකොපුවක් හෝ පණාවැස්මක් බඳු ය. අත් ඇඟිලි සම යතුරු ථවිකයක් බඳු ය. ග්‍රීවා සම ග්‍රීවා සැට්ටයක් බඳු ය. මුහුණෙහි සම කුඩා මහත් සිදුරු ඇති පණුකූඩුවක් බඳු ය. හිසෙහි සම පාත්‍ර‍ථවිකයක් බඳු යි.

 

සම අරමුණු කොටැ ගෙනැ භාවනා කරන යෝගී විසින් උඩුතොල පටන්, නුවණ උඩු අතට මෙහෙයා පළමු කොටැ මුහුණ වසා සිටි සම ව්‍යවස්ථා කටයුතු. ඉක්බිති නළල් ඇට සම ව්‍යවස්ථා කටයුතු. ඉක්බිති ථවිකයෙහි ලු පාත්‍ර‍යට ද ථවිකයට ද අතරින් අත යවන්නා සේ හිස ඇටයටද, හිස සමට ද, අතරින් නුවණ යවා ඇට හා සමග සම එකට බැඳී පවත්නා බව නො තකා හිසෙහි සම ව්‍යවස්ථා කටයුතු. ඉක්බිති පිටිකර සම ද, ඉක්බිති අනුලොම් වශයෙන් හා ප්‍ර‍තිලෝම වශයෙන් දකුණත සම ද, එසේ ම අනුලෝම වශයෙන් හා ප්‍ර‍තිලෝම වශයෙන් වමත සම ද, ව්‍යවස්ථා කටයුතු. (අංශ ප්‍රදේශයෙහි පටන් අත්හි පිටුපසින් අවතරණය අනුලොම නමි. මණිබන්‍ධයෙහි පටන් අත්හි පුරිමභාගයෙන් ආරෝහණය ප්‍ර‍තිලෝම නමි) ඉක්බිති පිටේ සම ද, ඉක්බිති අනුලෝම වශයෙන් හා ප්‍ර‍තිලෝම වශයෙන් දකුණු පය සම ද, එසේ ම අනුලෝම වශයෙන් හා ප්‍ර‍තිලෝම වශයෙන් වම් පය සම ද, ඉක්බිති පිලිවෙළින් ම වස්ති සම ද, උදර සම ද, හෘදය සම ද, ග්‍රීවා සම ද ව්‍යවස්ථා කටයුතු. ග්‍රීවා සමට අනතුරු වැ යට හුණු ව්‍යවස්ථා කොටැ යටිතොල අවසානයට පමුණුවා නිම කළ යුතු යි. මෙසේ මහත් මහත් සම අරමුණු කොටැ භාවනා කරත් ම සියුම් සම ද ප්‍ර‍කට වන්නේ ය.

 

දිශා වශයෙන් උඩ-යට යන දෙ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් මුළු සිරුර වෙළා ගෙනැ සිටියේ ය. පරිච්ඡෙද වශයෙන් යටැ පිහිටි තලයෙන් ද, මතු අහසින් ද පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡෙදය, විසභාග පරිච්ඡෙදය කේශයට කී නියා යි.

 

6 මංස

මාංස න්ම නව සියයක් මස් පිඬු ය. ඒ වනාහි වර්‍ණ වශයෙන් රත් පැහැ ය. කෑල මල් බඳු ය. සණ්ඨාන වශයෙන් කෙංඩා පිඬු මස තල්පත වැසූ බත් මුලක් බඳු ය. කලවේ මස ඇඹරුම් ගලේ දූගල බඳු ය. ආනිස ද මස මැටි පිඩින් කළ ලිප් කෙළවර බඳු ය. පිටේ මස පැදුරේ වනා වියලා ගත් තල්ගුළි පටලයක් බඳු ය. පරාල දෙකේ පිහිටි මස පෙතැලි රූ කුසෙක තුනීකොට ඇල්වූ මැටියක් බඳු ය. මෙසේ මහත් මහත් මස් වැදලි අරමුනු කොටැ ගෙනැ භාවනා කරත් මැ සියුම් - සියුම් මස් වැදලි ද ප්‍ර‍කට වැ වැටහෙන්නේ ය. දිශා වශයෙන් උඩ යට යන දෙදිශායෙහි ම පිහිටියේ ය. අවකාශ වශයෙන් ආධික තුන් සියක් ඇට ලිම්පිත වැ සිටියේ ය. පරිච්ඡෙද වශයෙන් යට ඇට සැකිල්ලෙහි පිහිටි තලයෙන් ද, උඩ සමින් ද, සරස ඔවුනොවුන් විසින් පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡෙදය යි. විසභාග පරිච්ඡෙදය කේශයට කී නියා යි.

 

7 නහාරු

නහාරු නම් නව සියයක් නහර ය. ඒ වනාහි වර්‍ණ වශයෙන් ශෙව්ත වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් නානා සණ්ඨාන ය. මින් උගුරේ මතු භාගය පටන් මහ නහර පසෙක් ශරීරය වෙළමින් ඉදිරිපසින් බසි යි. පසෙක් පසු පසින් බසි යි. පසෙක් දකුණැලයෙන් ද, පසෙක් වමැලයෙන් ද බසියි. පසෙක් දකුණත වෙළමින් එහි පෙර පසින් ද, පසෙක් වම් පසින් ද, එසේ ම පසෙක් වමත වෙළමින් එහි පෙර පසින් ද, පසෙක් වම් පසින් ද බසි යි. පසෙක් දකුණු පය වෙළමින් එහි පෙර පසින් ද, පසෙක් වම් පසින් ද, එසේම පසෙක් වම් පය වෙළමින් එහි පෙර පසින් ද, පසෙක් වම් පසින් ද බසි යි. මෙසේ ශරීරය ධරන මහ නහර සැට කය වෙළමින් බස්නා බව දත යුතු. කණ්ඩර යනු දු මේ මහා නහර වලට නමි, මේ සියලු නහර කණ්ඩල මකුල බඳු ය. (කන්‍දල මකුල යනු කැණහිල්මල් කැකුළුය යි සන්නය කිය යි.) මීට වඩා සියුම් වූ ඒ ඒ පෙදෙස්හි වැතිරැ සිටින ඇතැම් නහර හූ රැහැන් බඳු ය. මීට ද වඩා සියුම් වූ ඇතැම් නහර මහා වීණාවෙක තත් බඳු ය. ඇතැම් නහර දළ නූල් බඳු ය. අත්-පා පිට යන මේ තැන්හි නහර කුරුලු පා බඳු ය. හිසෙහි නහර ළදරුවන්ගේ හිස්දැල් බඳු ය. පිටෙහි නහර අව්වේ ලූ තෙත් දැල් බඳු ය. සෙසු අඞ්ග ප්‍ර‍ත්‍යඞ්ගානුගත නහර ශරීරයෙහි ලූ දැල් සැට්ටයක් බඳු ය. දිශා වශයෙන් උඩ යට යන දෙ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් මුළු ශරීරයෙහි ඇට වැළැඳැ ගෙනැ සිටියේ ය. පරිච්ඡෙද වශයෙන් යට තුන් සියක් ඇට වල මතු පිහිටි තලයෙන් ද, උඩ මස්හි හා සම්හි හා හැපී සිටි ප්‍රදේශයෙන් ද, සරස අන්‍යොන්‍යයන්ගෙන් ද පරිච්ඡින්න ය. මේ නහර පිළිබඳ සභාග පරිච්ඡෙදය යි. විසභාග පරිච්ඡෙදය වනාහි කේශයන්ට කී නියා යි.

 

8 අට්ඨි

අට්ඨි යනු දත් දෙ තිසා හැරැ සෙසු තුන් සියක් පමණ ඇට ය.

 

ඒ මෙසේ ය :- අත් ඇට සූසැටෙකි. පා ඇට සූසැටෙකි. මස් ඇසුරු කළ මොළොක් ඇට සූසැටෙකි. විළුම් ඇට දෙකෙකි. එක් එක් පාදයෙහි ගොප් ඇට දෙකෙකි. කෙංඩා ඇට දෙකෙකි. දණ ඇට එකෙකි. කලවේ ඇට එකෙකි. කටි ඇට දෙකෙකි. පිටකටු ඇට අටලොසෙකි. ඉල ඇට සූවිස්සෙකි. ළෙහි ඇට තුදුසෙකි. හෘදය ඇට එකෙකි. අකු ඇට දෙකෙකි. පතු ඇට දෙකෙකි. බාහු ඇට දෙකෙකි. අග් බාහු ඇට දෙකෙකි. උගුරු ඇට සතෙකි. හණු ඇට දෙකෙකි. නාසා ඇට එකෙකි. හිස් කබල් නවයෙකි. මෙසේ ඇට තුන් සියක් පමණ ඇතැ යි දත යුතු.

 

මේ සියලු ඇට ම වර්‍ණ වශයෙන් ශ්වේත වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් නානා සණ්ඨාන ය.

 

ඒ එසේ මැයි:- පය ඇඟිල්ලෙහි අග පුරුකෙහි ඇට ගිගිනි ඇට බඳු ය. මැද පුරුකෙහි ඇට කොස් ඇට බඳු ය. මුල් පුරුකෙහි ඇට පණාබෙර බඳු ය. පිටි පතුලෙහි ඇට තැළු කැණහිල්ල අල රැසක් බඳු ය. (කැණහිල්ල නම් කන්‍දල ය.) විළුම් ඇට එකැටි තල් ගෙඩියක ලොඳ බඳු ය. ගොප් ඇට එකට බැඳි ක්‍රීඩා ගෝලක බඳු ය. ජංඝා ඇට ගොප් ඇටෙහි පිහිටි තැන පොතු නො ගැළ වූ හිඳි බඩක් බඳු ය. කුඩා ජංඝා ඇට කුඩා දුනු දණ්ඩයක් බඳු ය. මහත් ජංඝා ඇට වැහැර ගිය සර්‍ප පිටක් බඳු ය. දණ ඇට එක් අතකින් වරුණු පෙණ පිඬක් බඳු ය. ඒ දණ ඇටෙහි ජංඝා ඇට පිහිටි තැන ඉතා උල් වූ අග් ඇති හරක් අඟක් බඳු ය. කලවේ ඇට නපුරු කොටැ සැසි වෑ පොරෝ දණ්ඩයක් බඳු ය. කලවේ ඇට කටි ඇටෙහි පිහිටි තැන ක්‍රීඩා ගෝලකයක් බඳු ය. ඒ කලවේ ඇටින් කටි ඇට පිහිටි තැන අග කැපූ මහ දොඹ ගෙඩියක් බඳු ය. ඒකාබද්ධ වැ පිහිටි කටි ඇට දෙක කුඹල් උදුනක් බඳු ය. ඒ දෙක වෙන් වෙන් වැ කඹුරන්ගේ යකුළෙහි බැඳි වළලු බඳු ය. කෙළවර පිහිටි ආනිසදයෙහි ඇට යටිමුව කොටැ ගත් සර්‍ප පෙණක් බඳු ය. සත් තැනෙකැ කුඩා මහත් සිදුරු ඇත්තේ ය. පිටකටු ඇට අතුළතින් මතු මතුයෙහි හකුළුවා තිබූ ඊයම් පටක් බඳු ය. පිටතින් හිඳිපත් වැලක් බඳු ය. ඒ අතරතුරු කියත් දත් බඳු කටු දෙකෙක් තුනෙක් ඇත්තේ ය. සූවිසි ඉල ඇට අතුරෙන් නො පිරිපුන් ඇට නො පිරිපුන් දහකැති බඳු ය. පිරිපුන් ඇට පුරිපුන් දහකැති බඳු ය. ඒ සියලු ඉල ඇට සුදු කුකුළකුගේ විදහා ගත් පියාපත් බඳු ය. තුදුස් ළෙහි ඇට දිරා ගිය රථ පඤ්ජරයක් බඳු ය. හෘදය ඇට හැඳි පොලොත්තක් බඳු ය. අකු ඇට කුඩා ලෝ වෑයෙක අත් දඬු බඳු ය. පතු ඇට එක් අතෙකින් ගෙවුණු සිංහල උදැල්ලක් බඳු ය. බාහු ඇට කැටපත් මිට බඳු ය. අග්‍ර‍ බාහුවෙහි ඇට යුග්ම වූ මුල් තල් කද බඳු ය. මිණිබහන් ඇට එක් කොටැ අලවා තුබූ හැකුළුණු ඊයම් පතක් බඳු ය. පිටි අල්ලේ ඇට තැළු කැණහිල්ල අල රැසක් බඳු ය. අත් ඇඟිල්ලෙහි මුල පුරුකේ ඇට පණා බෙර බඳු ය. මැද පුරුකේ ඇට නො පිරිපුන් කොස් ඇට බඳු ය. අග් පුරුකෙහි ඇට හිඟිනි ඇට බඳු ය. උගුර ඇට සත දංඩෙහි විදැ පිළිවෙළින් තුබූ හුණකිලිල් මද බඳු ය. යටි හණු ඇටය කඹුරන්ගේ යකුළක බැඳි වලල්ලක් බඳු ය. උඩු හණු ඇටය ලියන සැතක් බඳු ය. ඇස්වළ ඇට හා නාස්වල ඇට ලොඳ ඉවත් කළ ලා තල් ගෙඩි බඳු ය. නළල් ඇට යටි මුව කොටැ තුබූ සක්තල කපාල බඳු ය. කන්සිලු ඇට කරනැවෑමියන්ගේ කරකොපුව බඳු ය. නළලින්න හා කන් සිලින් හා මතු පට බඳනා තන්හි ඇට සංකුථිත ඝතපූර්‍ණ පටකල ඛණ්ඩයක් බඳු ය. (ස කුථිත ඝතපූර්‍ණ පටල ඛණ්ඩය යනු තෙලැති පූකඩය යි සන්නය කිය යි. තෙල් පූ හැකිළුණු කඩ පටක් වැන්නයිදු යෙත්. ඝතපූර්‍ණ යනු පිටෙකමයෙන් ම යනුදු සන්න යි.) මුදුනෙහි ඇට මුහුණින් කැපූ ඇද පොල්ගෙඩියක් බඳු ය. හිසෙහි ඇට මසා තිබූ දිරා ගිය ලබු කබල් බඳු ය.

 

දිශා වශයෙන් උඩ-යට යන දෙ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් සාමාන්‍යයෙන් සියලු සිරුරෙහි පිහිටියේ ය. විශෙෂයෙන් හිසෙහි ඇට උගුරු ඇටෙහි ද, උගුරු ඇට පිටකටු ඇටෙහි ද, පිටකටු ඇට කටි ඇටෙහි ද, කටි ඇට කලවා ඇටෙහි ද, කලවා ඇට දණ ඇටෙහි ද, දණ ඇට කෙංඩා ඇටෙහි ද, කෙංඩා ඇට ගොප් ඇටෙහි ද, ගොප් ඇට පිටිපතුල් ඇටෙහි ද පිහිටියේ ය. පරිච්ඡේද වශයෙන් ඇතුළ ඇට මිදුලින් ද, මතු මසින් ද, අග මුල ඔවුනොවුන් ගෙන් ද පරිච්ඡින්න ය. මේ ඇට පිළිබඳ සභාග පරිච්ඡෙදය යි. විසභාග පරිච්ඡෙදය වනාහි කේශයන්ට කී නියා යි.

 

9 අට්ඨිමිඤ්ජ

අට්ඨිමිඤ්ජ නම් ඇට ඇතුළේ පිහිටි මිඳුලු ය. එය වර්‍ණ වශයෙන් ශ්වේත වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් මහත් මහත් ඇට ඇතුළේ මිඳුලු උන පුරුකෙක බහා ලූ හුයා පී මහ වේවැල් අග් බඳු ය. කුඩා කුඩා ඇට ඇතුළේ මිඳුලු සිහින් හුණ පුරුකෙක බහා ලු හුයා පී තුනී වේවැල් අග් බඳු ය. දිශා වශයෙන් උඩ යට යන දෙ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් ඇට ඇතුළේ පිහිටියේ ය. පරිච්ඡෙද වශයෙන් ඇට ඇතුළු තලයෙන් පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡෙදය යි. විසභාග පරිච්ඡෙදය වනාහි කේශයන්ට කී නියා යි.

 

10 වක්ක

වක්ක නම් එක්වැ බැඳී සිටි මස් පිඬු දෙකෙකි. එය වර්‍ණ වශයෙන් මඳ රත් වර්‍ණ ය. එරබදු ඇට පැහැය ය. සණ්ඨාන වශයෙන් ළමයින් ගේ එක් කොට බැඳි ක්‍රීඩා ගෝල සඟළක් හෝ එක නටුයෙහි හට ගත් අඹගෙඩි දෙකක් බඳු ය. දිශා වශයෙන් උඩ දිශායෙහි ය. අවකාශ වශයෙන් ගළවළුයෙන් නික් මැ එක් මුලක් ඇති වැ මඳක් ගොස් දෙකක් වැ බෙදී දළ නහරින් බැඳී හෘදය මාංශය පරික්‍ෂෙප කොටැ සිටියේ ය. පරිච්ඡෙද වශයෙන් සියලු අතින් ම වකුගඩු කෙළවරින් පරිච්ඡින්න ය. මේ වකුගඩුව පිළිබඳ සභාග පරිච්ඡෙදය යි. විසභාග පරිච්ඡෙදය වනාහි කේශයන්ට කී නියා මැ යි.

 

11 හදය

හදය නම් හෘදය මාංසය යි. එය වර්‍ණ වශයෙන් රත් පියුම් පෙත්තෙක පිට පැත්ත බඳු වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් පිට පෙති හැරැ යටි මුව කොටැ තුබූ පියුම් කැකුළක් බඳු ය. පිටත සිලුටු ය. ඇතුළත වැටකොළු ගෙඩියක ඇතුළ බඳු ය. ප්‍රාඥයන්ට මඳක් විකසිත වැ ද, මන්‍දප්‍රාඥයන්ට මුකුලිත වැ ද ඇත්තේ ය. ඒ ඇතුළෙහි අඩපතක් පමණ ලෙහෙයෙන් යුත් දොඹ ගෙඩියක් පමණ වූ වළෙකි. මනොධාතුව හා මනොවිඤ්ඤාණධාතුව පවත්නේ ඒ ලෙහෙය ඇසුරු කොටැ ය. ඒ ලෙහෙ ය රාගචරිතයාහට රක්ත වර්‍ණ ය. ද්වේෂ චරිතයාහට කාල වර්‍ණ ය. මෝහචරිතයාහට මස් සේදූ දියත්තක් බඳු වර්‍ණ ය. විතර්‍ක චරිතයාහට කොල්ලු යුස වර්‍ණ ය. ශ්‍ර‍ද්ධා චරිතයාහට කිණිහිරිමල් වර්‍ණ ය. ප්‍ර‍ඥාචරිතයාහට වනාහි ප්‍ර‍සන්න ය, විප්‍ර‍සන්න ය, අනාවිල ය, පණ්ඩරය, පරිශුද්ධ ය, ඔප ලු දැරඟ මිණක් මෙන් ප්‍ර‍භාස්වර යි. දිශා වශයෙන් උඩ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් ශරීරාභ්‍යන්තරයෙහි දෙ තන මැද පිහිටියේ ය. පරිච්ඡේද වශයෙන් හෘදය භාගයෙන් පරිච්ඡින්න ය. මේ හෘදය පිළිබඳ සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය වනාහි කේශයන්ට කී නියා මැ යි.

 

12 යකන

යකන නම් අක්මා ය. ඒ වනාහි එක්වැ බැඳි මස් පටල දෙකෙකි. වර්‍ණ වශයෙන් රක්ත වර්‍ණ ය. පඬුවන් ස්වභාව ඇත්තේ ය. ඉතා රත් පැහැ නොගත් කුමුදු මලෙක පිට පෙත්ත බඳු ය. සණ්ඨාන වශයෙන් මුලදී එක් වැ අගදී දෙකක් වැ ගියේ ය. කොබෝලීල පතක් බඳු ය. එ ද වනාහි අඥයන්ට එකක් වැ මහත් වැ පිහිටියේ ය. ප්‍රාඥයන්ට කුඩා වැ දෙකක් වැ හෝ තුනක් වැ පිහිටියේ ය. දිශා වශයෙන් උඩ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් දෙ තන අතර දකුණු පැත්තේ පිහිටියේ ය. පරිච්ඡේද වශයෙන් යකෘත් භාගයෙන් පරිච්ඡින්න ය. මේ අක්මාව පිළිබඳ සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය වනාහි කේශයන්ට කී නියා මැ යි.

 

13 කිලොමක

කිලෝමක නම් දලබුව යි. ඒ වනාහි ප්‍ර‍තිච්ඡන්න දලබුව, අප්‍ර‍තිච්ඡන්න දලබුව යි දෙවැදෑරුම් වේ. වසා වැළඳ ගෙනැ සිටින මිසක් දලබු නාමයෙන් කියවෙන බව දත යුතු ඒ දෙවැදෑරුම් වූ ද දලබුව වර්‍ණ වශයෙන් දුහුල් කඩක් බඳු ශ්වේත වර්‍ණ වූවෙකි. සණ්ඨාන වශයෙන් ස්වකීය අවකාශ ස්ථානය බඳු සටහන් ඇත්තේ ය. දිශාව වශයෙන් ප්‍ර‍තිච්ඡන්න දලබුව උඩ දිශායෙහි ද, අප්‍ර‍තිච්ඡන්න දලබුව උඩ-යට යන දෙ දිශායෙහි ද පිහිටියේ ය. අවකාශ වශයෙන් ප්‍ර‍තිච්ඡන්න දලබුව හෘදය හා වකුගඩුව වසා ගෙනැ ද, අප්‍ර‍තිච්ඡන්න දලබුව මුළු ශරීරයෙහි හමට යටින් මස වසා වැළඳ ගෙනැද සිටියේ ය. පරිච්ඡේද වශයෙන් යට මසින් ද, උඩ සමින් ද, සරස කිලොමක භාවයෙන් ද පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නියා යි.

 

14 පිහක

පිහක නම් බඩදිව් මස යි. වර්‍ණ වශයෙන් නික මලක් සේ නීලවර්‍ණ ය. සණ්ඨාන වශයෙන් සත් අඟුල් පමණ වූ බැඳුමක් නැති කලු වස්සකුගේ දිවක් බඳු දෙයෙකි. දිශා වශයෙන් උඩ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් හදවතට වම්පස උදර පටලයේ මතු භාගය ඇසුරු කොටැ සිටියේ ය. මෙය ආයුධ පහරෙකින් පිටවුවහොත් මරණය එකාන්ත ය. පරිච්ඡේද වශයෙන් පිහක භාගයෙන් පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය වනාහි කේශයන්ට කී නියා යි.

 

15. පප්ඵාස

පප්ඵාස නම් දෙ තුන් කඩක් වැ බෙදුණු පපුමස යි. එය වර්‍ණ වශයෙන් දුඹුක් දිඹුල් ඵලයක් බඳු රක්ත වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් නො සම කොටැ කැඩු ඝන කැවුමක් බඳු ය. කෑ-බිවු කිසිවක් ඇතුළ නැති විට නැගෙන කර්‍මජ තේජෝ උෂ්ණයෙන් මෙය පිදුරු සපක් මෙන් නීරස සවේ. නිරොජස්ක වේ. දිශා වශයෙන් උඩ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් ශරීරය ඇතුළේ දෙතන අතර හදවත හා අක්මාව මත්තෙන් වසා ගෙනැ එල්බෙමින් සිටියේ ය. පරිච්ඡේද වශයෙන් පප්ඵාස භාගයෙන් පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය වනාහි කේශයන්ට කී නියා යි.

 

16. අන්ත

අන්ත නම් පිරිමින්ට දෙතිස් රියන් පමණ වූ ද, ස්ත්‍රීන්ට අටවිසි රියන් පමණ වූ ද එක් විසි තැනෙකින් නැමී සිටි අතුනු වැටිය යි. එය වර්‍ණ වශයෙන් ශ්වේත වර්‍ණ ය. වැල මුසු කොටැ හනා ගත් සුදු හුණු බදාමක් බඳු ය. සණ්ඨාන වශයෙන් ලේ ඔරුවෙක නමා ලූ හිස්සුන් සර්‍ප සිරුරක් බඳු ය. දිශා වශයෙන් උඩ යට යන දෙ දිශායෙහි හට ගත්තේ ය. අවකාශ වශයෙන් උඩ ගලවළුයෙහි ද, යට මළ මාර්‍ගයෙහි ද, බැඳී සිටි බැවින් ගලවළු හා ගුද පියස කෙළවර කොටැ ඇති ශරීරාභ්‍යන්තරයෙහි පිහිටියේ ය. පරිච්ඡේද වශයෙන් අන්ත භාගයෙන් පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නියා යි.

 

17. අන්තගුණ

අන්තගුණ නම් අතුනු බහන් ය. එනම් අතුනු නැමුණු තැන බැඳුම් ය. එය වර්‍ණ වශයෙන් ශේවත ය. හෙල්මැලි මුලක් බඳු ය. සණ්ඨාන වශයෙන් හෙල්මැලි මුලක් බඳු ය. දිශා වශයෙන් උඩ යට යන දෙ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් උදලු පොරෝ ආදි කර්‍මාන්ත කරන්නවුන්ගේ යන්ත්‍ර‍ අදනා කල යන්ත්‍ර‍ පෝරු බැඳැ ගෙනැ සිටින යන්ත්‍ර‍ සූත්‍ර‍ මෙන් අතුනු වැටි ගිලිය නොදී එක්කොට බැඳැ ගෙනැ පා පිස්නා බිස්සෙහි දරන මඬුල්ල අතර මසා සිටින රැහැන් මෙන් එක් විසි අතුනු වැටි අතුරෙහි පිහිටියේ ය. පරිච්ඡේද වශයෙන් අන්තගුණ භාගයෙන් පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නියා යි.

 

18. උදරිය

උදරිය නම් උදරයෙහි වූ අසිත - පීත - ඛායිත - සායිත යි. අසිත නම් බත් ආදි අනුභව කළ දේ ය. පීත නම් අඹපැණි ආදි පූ දේ ය. ඛායිත නම් කැවුම් ආදි කඩා කෑ දේ ය. සායිත නම් පීපැනි ආදි ලෝනා දේ ය. ඒ වර්‍ණ වශයෙන් වැළඳු ආහාර ම බඳු වර්‍ණය. සණ්ඨාන වශයෙන් පෙරහනෙක සිථිල කොට බඳනා ලද සහල් බඳු ය. දිශා වශයෙන් උඩ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් උදරයෙහි පිහිටියේ ය. උදර නම් දෙ පසින් මිරිකන ලද තෙත් වස්ත්‍රයෙක මැදැ නැඟි බුබුලක් බඳු අන්ත පටලය යි. එය පිටතින් සිලිටු ය. ඇතුළ කුණු මස් කසළ වෙලූ පොරෝනා කඩෙක පුප් හෝ කුණු වූ කොස්කටුවෙක ඇතුළ හෝ බඳු ය. එහි තක්කාටක-ගණඩූප්පාදක-තාලභීරක-සූචිමුඛ-පටතන්තුක-සුත්තක ආදි දෙතිස් කුලෙක පණුවෝ ආකුල ව්‍යාකුල වැ මුළු මුලු වැ හැසිරෙති. ඔව්හු ආහාරපාන නො ලත් කල්හි පැනැ පැනැ ශබ්ද නඟමින් හෘදය මාංසය කළඹති. ආහාරපාන ලත් කල්හි කට අයා පළමු පළමු වැටෙන දෙ - තුන් පිඬ වෙලෙවි වෙලෙවි වැ පැහැර කති. ඔවුන්ගේ තිඹිරි ගෙය ද, වැසිකිලිය ද, ගිලන් හල ද, සොහොන් ගෙය ද එයම වන්නේ ය. සැ‍‍ඩොල් නම් දොර ගවර වළෙක නියං සමයෙහි මහ පොද ඇති වැසි වස්නා කල ජලයෙන් ගෙනවුත් දැමූ මළ-මූ-ඇට නහර-කෙළ-සොටු-ලේ ආදි නානාවිධ කුණු කන්දල් මඩ දියෙන් කැළඹි දෙතුන් දිනෙකින් පණුකැලගෙන් සිලිසි වැ ඉර අව්රැස් වෙයින් කකියා මතුයෙහි පෙණ බුබුලු නඟමින් ඉතා නිල්වන් වැ පරම දුර්‍ගන්‍ධ වැ පරම ජුගුප්සා ජනක වැ හිඹැ ගැන්ම තිබේවා, ආස්වාදනය කැරැ ගැන්ම තිබේවා, ළං වන්නට දැකැ ගන්නට පවා නුසුදුසු වැ තිබෙන්නා සේ නානාවිධ ආහාරපානාදිය දත් නමැති මොහොලින් කොටා දිව නමැති අතින් පෙරළා අග දිව තුනී කෙළින් හා මුල් දිව බොල් කෙළින් කලතා ඇසිල්ලෙකින් වර්‍ණ-ගන්‍ධ-රස රහිත වැ රෙදි වියන්නන්ගේ නානු සේ ද, බල්ලන් නඟා ලුවක් සේ ද වැ වා-පිත්-සෙමින් වෙළන ලදු වැ ජඨරාග්නි සන්තාප වේගයෙන් කකියන ලදු වැ පණුකැලෙන් අවුල් වැ මතු මතුයෙහි පෙණ බුබුලු නගමින් පරම දුර්‍ගන්‍ධ බවට හා පිළිකුල් බවට පැමිණැ සිටින්නේ ය. මෙය නුවණැසින් බලන කල ඇතිවන අමනෝඥත්‍වය කියනු ම කවරේ ද, කියනු ඇසෙන විට ද ආහාරපානාදියෙහි අමනෝඥත්‍වය වන්නේ ය. මේ උදරයෙහි වැටෙන ආහාරපානාදිය පස් ආකාරයට බෙදී යෙයි. එක් කොටසක් පණුවෝ කති. එක් කොටසෙක් බඩේ ගින්නෙන් දාලා යයි. එක් කොටසෙක් මුත්‍ර‍ බවට පැමිණේ. එක් කොටසෙක් වර්චස් බවට පැමිණෙයි. එක් කොටසෙක් රස බවට හැරී මස්-ලේ ආදිය වඩයි. පරිච්ඡේද වශයෙන් උදර පටලයෙන් ද, උදරිය භාගයෙන් ද පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කෙශයන්ට කී නියා යි.

 

19. කරීස

කරීස නම් වර්චසි. එය වර්‍ණ වශයෙන් බොහෝ සේ ම වැළඳූ ආහාරයට බඳු වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් අවකාශ ස්ථානය බඳු ය. දිශා වශයෙන් යට දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් පක්වාශයෙහි පිහිටියේ ය. පක්වාශය නම් යට නාභියට හා පිටකටුමුලට අතර අතුනු කෙළවර පිහිටි අටඟුල් පමණ උස් වූ හුණ නළයක් බඳු තැනෙකි. උඩ බිම් පෙදෙසක වැටුණු වැසිදිය ගිලිහී යට බිම් පෙදෙසක් පුරා සිටින සේ ආමාශයෙහි වැටුණු ආහාරපානාදිය බඩ ගින්නෙන් පෙණ නඟමින් පැසී ඇඹරුම් ගලකින් අඹරන ලද්දාක් මෙන් සිලිටු වැ අතුනු සිදුරින් ගිලිහී අඹරා හුණු තලයෙක ලන පඬුවන් මැටි සේ රැස් වැ සිටිනේ ය. පරිච්ඡේද වශයෙන් පක්වාශය පටලයෙන් ද, කරීස භාගයෙන් ද පරිච්ඡින්න ය. මේ පරිච්ඡේද වශයෙන් පිහක භාගයෙන් පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නියා යි.

 

20. මත්‍ථලුඞ්ග

මත්‍ථලුඞ්ග නම් හිස්කබල අතර පිහිටි මිදුළු රැස යි. එය වර්‍ණ වශයෙන් ශ්වේත වර්‍ණ ය. නයිහතු පිඬක් බඳු ය. දී බවට නො පැමිණි නරක් වුණු කිරි බඳුය යි කීවද සුදුසු ය. සණ්ඨාන වශයෙන් අවකාශ ස්ථානයට බඳු ය. දිශා වශයෙන් මතු දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් හිස්කබල තුළ මැසුම් සතර ඇසුරු කොටැ එක් කොටැ තුබූ පිටිපිඬු සතරක් මෙන් එක් වැ පිහිටියේ ය. පරිච්ඡේද වශයෙන් හිස් කබල ඇතුළු තලයෙන් ද, හිස් මොළ භාගයෙන් ද පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නියා යි.

 

21. පිත්ත

පිත්ත නම් පිත යි. එය බද්ධපිත ය, අබද්ධපිතය යි දෙ වැදෑරුමි. බද්ධපිත වර්‍ණ වශයෙන් ඝන මීතෙල් බඳු වර්‍ණ ය. අබද්ධ පිත මැළවුණු රණවරා මල් බඳු වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් ඒ දෙ පිත ම ස්වකීය අවකාශ ස්ථානය බඳු ය. දිශා වශයෙන් අබද්ධපිත කෙස්-ලොම්-නිය-දත් යන මෙහි මස් රහිත තැන් හා තද වියලි සම් හා හැරැ සෙසු සියලු සිරුර තෙල් බින්දුවක් දියෙහි මෙන් ව්‍යාප්ත වැ සිටියේ ය. ඒ කිපි කල ඇස් කහ පැහැ වේ. කරකැවිල්ල සෑදේ. ශරීරය කම්පා වේ. කැසීම ඇති වේ. බද්ධපිත වනාහි හෘදයවස්තුව හා පපුව අතර අක්මාව නිසා පිහිටි මහ වැටකොළු සල්ලක් බඳු පිත් කෝෂයෙහි පිහිටියේ ඒ කිපි කල සත්ත්‍වයෝ උමතු වෙති. සිහි විපර්‍ය්‍යාස වෙති. විලි-බිය හැරපියා නො කට යුතු දේ කෙරෙති. නො කිය යුතු දේ කියති. නො සිතිය යුතු දේ සිතත්. පරිච්ඡේද වශයෙන් පිත්ත භාගයෙන් පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නියා යි.

 

22. සෙම්හ

සෙම්හ නම් සෙම ය. එය ශරීරය තුළ පාත්‍ර‍යක් පුරා ලන තරම් ඇත්තේ ය. වර්‍ණ වශයෙන් ශ්වේත වර්‍ණ ය. කෑලිය කොළ මිරිකු දියක් බඳු ය. සණ්ඨාන වශයෙන් තමා සිටින අවකාශ ස්ථානය බඳු ය. දිශා වශයෙන් උඩ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් උදර පටලයෙහි පිහිටියේ ය. එය වනාහි ආහාරපාන වළඳනා කල්හි කැට කැබලිති වැටීමෙන් දියසෙවෙල දෙබේ වැ නැවත එක් වන්නා සේ නැවත එක් වන්නේ ය. මේ සෙම මඳ වූ කල්හි පැසුනු ගඩක් මෙන් ද, කුණු වූ කිකිළි බිත්තරයක් මෙන් ද උදරය ඉතා පිළිකුල් කුනු ගඳින් යුක්ත වේ. එයින් නැඟුණු ගඳින් උද්‍රේකය ද ඇති වේ. මුඛය ද කුණු ගඳ වැ පිළිකුල් කුණපයක් වැනි වේ. ඒ මිනිසා පවා “පඟවා කුණු ගඳ ගසා” ය යි කිය යුතු බවට පැමිණේ. මේ සෙම වනාහි වැඩී ඝන වූ කල පියන් පතින් වැසිකිළියේ ගඳ ඇතුළත ම අවුරා සිටින්නාක් මෙන් දුර්‍ගන්‍ධය උදරයෙහි ම අවුරා සිටින්නේ ය. පරිච්ඡේද වශයෙන් සෙම්හ භාගයෙන් පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කෙශයන්ට කී නියා යි.

 

23. පුබ්බ

පුබ්බ නම් සැරව යි. එය ජීවමාන ශරීරයෙහි නම් වර්‍ණ වශයෙන් ඉදුණු කොළයකට බඳු වර්‍ණ ය. මළසිරුරේ නම් කුණු වූ ඝන කැඳක් බඳු වර්‍ණ යි. සණ්ඨාන වශයෙන් පිහිටි අවකාශ ස්ථානය බඳු ය. දිශා වශයෙන් උඩ යට යන දෙ දිසායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් අසුවල් තැන නිබඳ අවකාශය යි කිය යුතු තැනෙක් නති. කණු-කටු-අවි-ගිනි ආදිය හැපී ලේ නැඟී පැසුණා වූ ද, ගඬ පොළ ආදිය නැඟුණා වූ ද කො තැන හෝ මෙයට අවකාශ යි. පරිච්ඡේද වශයෙන් පූයා භාගයෙන් පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නියා යි.

 

24. ලෝහිත

ලෝහිත නම් ලෙහෙ ය. එය සින්නිචිත ලෝහිත ය, සංසරණ ලෝහිතය යි දෙ වැදෑරුම් වේ. සන්නිචිත ලෝහිත නම් එක් තැනෙක රැස් වැ සිටිනා ලෙහෙය යි. එය කකාළ ඝන ලතු දිය බඳු වර්‍ණ ඇත්තේ ය. සංසරණ ලෝහිත නම් මුළු සිරුරෙහි විසිරැ පවත්නා ලෙහෙය යි. එය ප්‍ර‍සන්න ලතු දිය බඳු වර්‍ණ ඇත්තේ ය. සණ්ඨාන වශයෙන් ඒ දෙවැදෑරුම් ලෙහෙම තමන් සිටින ස්ථානය බඳු සටහන් ය. දිශා වශයෙන් මුල කී ලෙහෙ උඩ දිශායෙහි ද, යට කී ලෙහෙ උඩ-යට යන දෙ දිශායෙහි ද පිහිටියේ ය. අවකාශ වශයෙන් සංසරණ ලෝහිත ය කෙස් - ලොම් - නිය - දත්හි මස් නැති තැන් හා වියලුණු සම හා හැරැ ධමනීජාලානුසාරයෙන් සියලු උපාදින්නා ශරීරයෙහි පැතිරැ පවත්නේ ය. සන්නිචිත ලෝහිතය යකනය පිහිටි තැන යට කොටස පුරා පාත්‍ර‍යක් පිරෙන තරම් වැ හදවත් - වකුගඩු - පපු යන මොවුන් මතුයෙහි ටික ටික වෑස්සෙමින් වකුගඩු - හදවත් පපුමස් තෙමමින් පවත්නේ ය. ලෙහෙයෙන් එය නො තෙමෙත් හොත් පිපාසය උපදින්නේ ය. පරිච්ඡේද වශයෙන් ලෝහිත භාගයෙන් පරිච්ඡන්න ය මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කෙශයන්ට කී නිසා යි.

 

25. සේද

සේද නම් ඩහදිය යි. එ නම් රෝම කූපාදියෙන් වැගිරෙන අබ් ධාතු යි. වර්‍ණ වශයෙන් පහන් තලතෙල් බඳු වර්‍ණ ඇත්තේ ය. සණ්ඨාන වශයෙන් පිහිටි තැන් බඳු ය. දිශා වශයෙන් දෙ දිශායෙහි ම පිහිටියේ ය. අවකාශ වශයෙන් ලෙහෙයට මෙන් නිබඳ පිහිටි අවකාශ ස්ථානයෙක් නැති. ගිනි රශ්මියෙන් හෝ ඉර අව්වෙන් හෝ සෘතුවිකාරාදියෙකින් හෝ ශරීරය තැවුණු විට දියෙන් නහා ගත් ඇසිල්ලෙහි නො සම කොට කැඩූ නෙළුම් දැලි කලඹෙකින් මෙන් සියලු කෙස් - ලොම් කූප විවරයෙන් වැගිරෙන්නේ ය. එයින් ස්චේදයගේ සටහන කේශ-ලෝම කූප විවර වශයෙන් ම කිය යුතු. ස්චේදය ගෙනැ භාවනා කරන යෝගී විසින් කෙස් - ලෝමකූප විවර පුරා සිටි වශයෙන් ම මෙනෙහි කළ යුතු. පරිච්ඡේද වශයෙන් ස්ච්දහාගයෙන් පරිච්ඡන්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නියා යි.

 

26. මේද

මේද නම් මිදුණු තෙල ය. එය වර්‍ණ වශයෙන් පලන ලද කහ ගැටයක් බඳු වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් මහත් ශරීර ඇත්තවුන්ට සම හා මස හා අතුර තුබූ කසාවන් දුහුල් රෙදි කඩක් බඳු සණ්ඨාන ය. කෘශ ශරීර ඇත්තවුන්ට කෙංඩා මස හා කලවේ මස හා පිටකටුව ඇසුරු කළ පිටු මස හා බඩ මස හා නිසා දෙ තුන් පටක් කොටැ තුබූ කසාවන් දුහුල් කඩක් බඳු සණ්ඨාන ය දිශා වශයෙන් උඩ - යට යන දෙ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් මහත් ශරීර ඇත්තවුන් ගේ මුළු සිරුරෙහි පැතිර ද, කෘශ ශරීර ඇත්තවුන් ගේ කෙංඩා මස් ආදිය නිසා ද පිහිටියේ ය. මේ මේදය තෙල් වුව ද ඉතා පිළිකුල් ය. එ බැවින් හිස ගානා පිණිස හෝ නශ්‍ය කිරීම් ආදියක් පිණිස හෝ නො යොදති. පරිච්ඡේද වශයෙන් යට මසින් ද, මතු සමින් ද, සරල මේද භාගයෙන් ද පරිච්ඡන්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නියා යි.

 

27. අස්සු

අස්සු නම් කඳුළු ය. එනම් ඇසින් වැගිරෙන අබ් ධාතු ය. එය වර්‍ණ වශයෙන් පහන් තලතෙල් බඳු ය. සණ්ඨාන වශයෙන් පිහිටි අවකාශ ස්ථානය බඳු ය. දිශා වශයෙන් උඩ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් ඇස්වළ පිහිටියේ ය. මේ කඳුළු පිත් කෝශයෙහි පිත මෙන් ඇස්වළෙහි නිතර රැස් වැ තුබුයේ නො වේ. සත්ත්‍වයන් සතුටින් සිනාසෙන කල්හි ද, දුකින් හඬනා වලප්නා කල්හි ද, විසම ආහාර වළඳනා කල්හි ද, ඇස්හි දුම් හෝ දූලි ආදියක් වැදැ ගන්නා කල්හි ද ඒ ඒ සොම්නස් ආදි හේතුයෙන් නැඟී ඇස් වළ පුරා හෝ සිටී. වැගිරැ හෝ යෙයි. මේ ගෙනැ භාවනා කරන යෝගී විසින් ඇස් වළ පුරා සිටි වශයෙන් ම භාවනා කළ යුතු. පරිච්ඡේද වශයෙන් අශ්‍රාභාගයෙන් පරිච්ඡන්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නියා යි.

 

28 වසා

වසා නම් වුරුණු යි. එ නම් දිය වී යන තෙල යි. එය වර්‍ණ වශයෙන් පොල් තෙල් හෝ කැඳහි ලූ තෙල් හෝ බඳු වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් නහන කල පහන් දිය මතුයෙහි බමන තෙල් බිදු බඳු ය. දිශා වශයෙන් උඩ - යට යන දෙ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් බොහෝ සේ අතුල්-පතුල්-පිටිඅත්-පිටිපා-නාස්පුට-නළල-අංශකුට යන මෙහි පිහිටයේ ය. එසේත් ඒ තන්හි නිබඳ පිහිටියේ නො වේ. ගිනි උෂ්ණයෙන් හෝ ඉර අව්වෙන් හෝ විසභාග සෘතුයෙන් හෝ විසභාග ධාතුයෙන් හෝ ඒ තැන් උෂ්ණ වූ කල නහන කල පහන් දිය මතුයෙහි තෙල් බින්දු මෙන් පිහිටියේ ය. පරිච්ඡේද වශයෙන් වසා භාගයෙන් පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නියා යි.

 

29 ඛේල

ඛේල නම් කෙල ය. එ නම් මුව තුළ පෙණ මිශ්‍ර‍ අබ් ධාතු යි. එය වර්‍ණ වශයෙන් ශ්වේත වර්‍ණ ය. පෙණ බඳු ය. සණ්ඨාන වශයෙන් අවකාශ ස්ථානයට බඳු සටහන් ය. පෙණ සටහන් ඇත්තේය යි ද කිය හැකිය. දිශා වශයෙන් මතු දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් දෙ කපොල් පෙදෙසින් බැසැ දිවෙහි පිහිටියේ ය. එහෙත් එහි නිබද පිහිටියේ නො වේ. ඇඹුල් ආදි ආහාරයක් දුටු විට හෝ සිහි කළ විට හෝ උෂ්ණ, තික්ත, කටුක, ලෝණ, අම්බිල අතුරෙන් කිසිවක් මුව තුළ තුබූ විට හෝ හෘදය ක්ලාන්ත වූ විට හෝ කිසිවක් සඳහා පිළිකුල් උපන් විට හෝ ඉපිද දෙ කපොල් පෙදෙසින් බැසැ දිවෙහි පිහිට යි. එය දිව අග දී තුනී ය. මුල දී ඝන ය. මුවෙහි ලූ හබපෙති - සහල් ආදි ආහාර ගංඉවුරේ කැණු ලිඳෙක ජලය මෙන් අවසන් නො වැ ම තෙමා ලන්නට සමර්‍ථ ය. පරිච්ඡේද වශයෙන් ඛේල භාගයෙන් පරිච්ඡන්න ය මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නිසා යි.

 

30. සිඞ්ඝාණිකා

සිඞ්ඝාණිකා නම් සොටු ය. එ නම් හිස් මුලින් වැගිරෙන අශුචි විශේෂයෙක. එය වර්‍ණ වශයෙන් ළා තල් ලොඳ බඳු වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් අවකාශ ස්ථානයට බඳු සටහන් ය. දිශා වශයෙන් මතු දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් දෙ නාස්පුට පුරා සිටියේ ය. නෙළුම් කොළයෙක දී බැඳැ කටුවෙකින් නෙළුම් කොළය සිදුරු කළ විට ඒ සිදුරෙන් දී බැසැ යන්නා සේ සත්ත්‍වයන් හඬනා කල හෝ විසභාග ආහාරයෙන් හෝ සෘතුයෙන් හෝ ධාතුක්‍ෂොභ වූ කල හෝ හිස තුළින් කුණු සෙම් බවට පැමිණැ හිස් මුල ගිලිහී තලු සිදුරින් බැසැ නාස්පුට පුරා හෝ සිටිනේ ය. වැගිරැ හෝ යන්නේ ය. මෙය අරමුණු කොටැ භාවනා කරන යෝගී විසින් නාස්පුටයෙහි පිරී සිටි දේ සලකා භාවනා කළ යුතු. පරිච්ඡේද වශයෙන් සිඞ්ඝාණිකා භාගයෙන් පරිච්ඡන්න ය මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නිසා යි.

 

31. ලසිකා

ලසිකා නම් සඳමිදුළු යි. එ නම් ශරීරයෙහි සන්‍ධි අතර පවත්නා බෙලසුන් කුණප විශේෂයෙකි. එය වර්‍ණ වශයෙන් කිණිහිරි ලාටු බඳු වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් අවකාශ ස්ථානයට බඳු සටහන් ය. දිශා වශයෙන් දෙ දිශායෙහි ම පිහිටියේ ය. අවකාශ වශයෙන් ඇට සන්‍ධිවල තෙල් ලීම් කෘත්‍යය සිද්ධ කරමින් එකසිය අසූවක් සන්‍ධි අතරෙහි පිහිටියේ ය. සඳමිදුළු මඳ වූවන් නැඟෙන විට ද හිඳින විට ද යන විට ද අත් පා දිග අරින විට හා හකුළන විට ද ඇට කටු කට-කට ගායි. අසුරු ගසන්නා සේ වෙයි. යොදුනක් දෙකක් ගිය විට වාතය කිපෙයි. ශරීරයට වේදනා උපදියි. වැඩි වූවන් එසේ ඉරියව් පවත්වන විට කට-කට ගෑමෙක් හෝ කිපුමෙක් හෝ වේදනාවෙක් හෝ නො වෙයි. පරිච්ඡේද වශයෙන් ලසිකා භාගයෙන් පරිච්ඡින්න ය. මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නිසා යි.

 

32. මුත්ත

මුත්ත නම් මුත්‍ර‍ යි. එය වර්‍ණ වශයෙන් උඳු ගැරූ දියට බඳු වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් යටිමුව කොටැ තුබූ කළයෙක දියට බඳු සටහන් ය. දිශා වශයෙන් යට දිශායෙහි වූයේ ය. අවකාශ වශයෙන් වස්තිය තුල පිහිටියේ ය. වස්තිය නම් වස්ති පූටය යි. ගවරවළෙක කට නැති සිලිදිය වදනා කළයක් ලූ කල එහි ගවරවළ ජලය ඇතුළු වෙයි. එහෙත් එහි ඒ ජලය ඇතුළු වන මාර්‍ගය නො පෙනෙයි. එ මෙන් ශරීරයෙන් මුත්‍ර‍ වස්තිපූටයට ප්‍ර‍විෂ්ට වෙයි. ප්‍ර‍විෂ්ට වන මාර්‍ගය නො පෙනෙයි. නික්මැ යන මාර්‍ගය පෙනෙයි. නික්මැ යන මාර්‍ගයෙහි මුත්‍ර‍ පිරුණු කල “මුත්‍ර‍ කරමි” යි අදහස් පහළ වෙයි. පරිච්ඡේද වශයෙන් වස්ති අභ්‍යන්තරයෙන් ද, මුත්‍ර‍ භාගයෙන් පරිච්ඡින්න ය මේ මෙහි සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය කේශයන්ට කී නිසා යි.

 

මෙසේ මේ කේශාදි කොටස් වර්‍ණ වශයෙන් සණ්ඨාන වශයෙන් දිශා වශයෙන් අවකාශ වශයෙන් පරිච්ඡේද වශයෙන් ව්‍යවස්ථා කොටැ යට දැක්වූ පරිදි අනුපූර්‍ව, නාති ශීඝ්‍රාදි නියායෙන් වර්‍ණ-සණ්ඨාන-ගන්‍ධ-ආසය-අවකාශ යන පස් ආකාරයෙන් පිළිකුල - පිළිකුලැ යි මෙනෙහි කරත් ම කේශාදි ප්‍ර‍ඥප්ති ඉක්මීම් වශයෙන් පවත්නා භාවනා කෙළවර ඒ සියලු කොටස් එකවර ම ප්‍ර‍කට වෙයි. එක නූලෙහි ඇවුණු දෙතිස් පැහැයෙකින් යුත් මල් සියයක් ඇති මල් මාලාවක් දිසා බලන විට සියල්ල එකවර ප්‍ර‍කට වන්නාක් මෙනි. යට මනස්කාර කෞශල්‍ය කථායෙහි “කේසා” මෙනෙහි කරත් ම ආදි කාර්මිකයාගේ මනසිකාරය ගොස් “මුත්ත” යන අවශාන කොටසෙහි හැපී සිටිනේය යි කීයේ මේ නිසා යයි දත යුතු.

 

(මෙතෙක් කීයේ ආධ්‍යාත්මික ශරීරය පිළිබඳ මනස්කාර විධිය යි.)

 

බාහිර ශරීරය පිළිබඳ මනස්කාර කරත් හොත් ඔහුට යට දැක්වුණු සේ ම සියලු කොටස් ප්‍ර‍කට වැ ගිය කල්හි ගමනාගමනය කරන මනුෂ්‍ය, තිරශ්චීනාදීන් සත්ත්‍වාකාර වශයෙන් නො වැ කොට්ඨාස රාසි වශයෙන් වැටහෙයි. ඔවුන් විසින් අනුභව කරනු ලබන ආහාර පානාදිය ඒ කොට්ඨාස රාශි තුළ දමනු ලබන්නාක් මෙන් වැටහෙයි. ඉක්බිති යට කී සේ අනුපූර්‍ව මුඤ්චනාදි වශයෙන් “පිළිකුල-පිළිකුලැ”යි නැවත නැවත මෙනෙහි කරත් ම අනුක්‍ර‍මයෙන් අර්පණා උපදින්නේන ය.

 

උග්ගහනිමිත්ත හා පටිභාගනිමිත්ත

 

මෙසේ කේශාදීන් පිළිබඳ වැ වර්‍ණ-සණ්ඨාන-දිශා-අවකාශ-පරිච්ඡේද වශයෙන් වැටහීම උග්ගහනිමිත්ත ය. එම සර්‍වප්‍ර‍කාරයෙන් පිළිකුලැ යි වැටහීම පටිභාගනිමිත්ත යි.

 

ඒ පටිභාගනිමිත්ත ආසේවනය කරත් ම භාවනා කරත් ම යට කී සේ අශුභ කර්‍මස්ථානයෙහි මෙන් ප්‍ර‍ථමධ්‍යාන වශයෙන්ම අර්පණා උපදින්නේ ය.

 

යම් යෝගියෙකුට එක ම කොටසෙක් ප්‍ර‍කට විණිා නම් යටමක් එක කොටසෙක්හි අර්පණාවට පැමිණැ යළි අනෙක් කොටසෙක යෝග නො කෙළේ නම් ඔු උපදින්නේ එකම අර්පණාව ය. යමෙකුට නොයෙක් කොටස් ප්‍ර‍කට විණි නම් යමෙක් එක කොටසක අර්පණා ලබා පසුවැ අනෙක් කොටසෙහි ද යෝග කෙළේ නම් ඔහුට මල්ලක තෙරුන්ට මෙන් කොටස් ගණනක ප්‍ර‍ථමධ්‍යාන උපදින්නේ ය. මල්ලක තෙරුන් වහන්සේ දීඝභාණකඅභය තෙරුන් වහන්සේ අත ගෙනැ “අභය ආයුෂ්මතුනි! මේ ප්‍ර‍ශ්නය උගන්නැ”යි කියා මේ කාරණය කී සේක. ඒ මල්ලක තෙරුන් වහන්සේ දෙතිස් කොටස්හි ප්‍ර‍ථමධ්‍යාන දෙතිසක් ලැබූ කෙනෙක. රැය එකකට සම වැදැ දවල් එකට සම වදනේ නම් නැවත මුල් එකට සම වදනේ අඩමසක් ඉක්මීමෙන් ය. ඉදින් දවස් පතා එකකට සමවදනේ නම් යළි එයට සමවදනේ මසක් ඉක්මීමෙන් ය.

 

මෙසේ මේ කර්‍මස්ථානය ප්‍ර‍ථමධ්‍යානය වශයෙන් සමෘද්ධ වතු දු වර්‍ණ-සණ්ඨානාදියෙහි ස්මෘති බලයෙන් සමෘද්ධි වන බැවින් කායගතාසතිය යි කියනු ලැබේ.

 

මේ කායගතාසති භාවනායෙහි යෙදෙන භික්‍ෂු, අරති, රති මැඩැ ලන්නේ ය. අරති රතීහු ඔහු මැඩැ ලන්නට සමර්‍ථ නො වෙති. (අරති නම් අරණ්‍ය සේනාසනාදියෙහි නො ඇල්ම ය. රතී නම් පංචකාමයෙහි ඇල්ම යි. හේ උපනුපන් අරති-රති මැඩැලමින් වසන්නේ ය. තවද හේ භයභේරව මැඩැ ලන්නේ ය. භයභෙරවයෝ ඔහු මිනී නො මඩිති) උපනුපන් භයභේරව මැඩැලමින් වසන්නේ ය. (පිළිකුල් භාවනායෙන් ආත්මස්නේහය හීන වීම එයට හේතු යි.) ශීතොෂ්ණාදිය ඉවසන්නේ ය. කේශාදීන්ගේ වර්‍ණ භේදය ගෙනැ භාවනා කිරීමෙන් චතුර්‍ථ ලබන්නේ ය. එයින් ම ෂට් අභිඥා ප්‍ර‍තිවේධය ද කරන්නේ යි.

 

තස්මා භවෙ අප්පමත්තො

අනුවුඤ්ජෙ පණ්ඩිතො

එවං අනෙකානිසංසං

ඉමං කායගතාසතිං.”

 

‘එසේ එහෙයින් නුවණැත්තේ අප්‍ර‍මාද වැ මේ බඳු ආනිසංසයෙන් ප්‍ර‍තිමණ්ඩිත වූ මේ කායගතාසති භාවනාව ඒකාන්තයෙන් වඩන්නේ යි’

 

කායගතාසති භාවනාව පිළිබඳ විස්තර කථා මාර්‍ගය

මෙතෙකින් නිමියේ ය.

 


ආනාපාණසතිය

 

“අයම්පි ඛො භික්ඛවෙ ආනාපාණසති සමාධි භාවිතො බහුලිකතො සන්තො චෙව පණිතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති”[298] මහණෙනි! මේ ආනාපාණසති සමාධිය භාවිත බහුලීකෘත කෙළේ ශාන්ත ද ප්‍ර‍ණීත ද අසේචනක ද-සුඛවිහරණ ද වන්නේ ය. උපන්නුපන් පාප අකුශල ධර්‍ම ඇසිල්ලේකින් අතුරුදහන් කරන්නේ ය සන්සිඳුවන්නේ ය’ යි බුදුරජාණන් වහන්සේ ආනාපාණසති සමාධියට ප්‍ර‍ශංසා කළ සේක.

 

ප්‍ර‍ශංසා කොටැ “කථං භාවිකො ච භික්ඛවෙ ආනාපාණසති සමාධි භාවිතො බහුලිකතො සන්තෙ චෙව පණිතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නූප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ, ඨානසො අන්තරධාපෙති වූපසමෙති?

 

ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤාගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා සො සතො‘ච අස්සති සතො පස්සසති.

 

දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති

දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති

රස්සං වා අස්සසන්තො -පෙ-

රස්සං වා පස්සසන්තො -පෙ-

සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී‘ති සික්ඛති

සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී‘ති සික්ඛති

පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති

පස්සම්භයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති

පීතිපටිසංවෙදී -පෙ-

පීතිපටිසංවෙදී -පෙ-

සුඛපටිසංවෙදී -පෙ-

සුඛපටිසංවෙදී -පෙ-

චිත්තසංඛාරපටිසංවෙදී -පෙ-

චිත්තසඞ්ඛාරපටිසංවෙදී -පෙ-

පස්සම්භයං චිත්තසංඛාරං -පෙ-

පස්සම්භයං චිත්තසංඛාරං -පෙ-

චිත්තපටිසංවෙදී -පෙ-

චිත්තපටිසංවෙදී -පෙ-

අභිප්පමොදයං චිත්තං -පෙ-

අභිප්පමොදයං චිත්තං -පෙ-

සමාදහං චිත්තං -පෙ-

සමාදහං චිත්තං -පෙ-

විමොචයං චිත්තං -පෙ-

විමොචයං චිත්තං -පෙ-

අනිච්චානුපස්සී -පෙ-

අනිච්චානුපස්සී -පෙ-

චිරාගානුපස්සී -පෙ-

චිරාගානුපස්සී -පෙ-

නිරොධානුපස්සී -පෙ-

නිරොධානුපස්සී -පෙ-

පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති

පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති

 

‘මහණෙනි! කෙසේ භාවිත බහුලීකෘත කළ ආනාපාණසති සමාධිය ශාන්ත - ප්‍ර‍ණීත - අසේචනක - සුඛවිහාර වන්නේ ද කෙසේ උපන්නුපන් පාප අකුශල ධර්‍ම ඇසිල්ලෙන් අතුරුදහන් කරමින් සන්සිඳුවන්නේ ද

 

‘මහණෙනි! මේ සසුන් වැදැ පැවිදි වූ මහණ අරණ්‍යයකට හෝ වෘක්‍ෂමූලයකට හෝ ශුන්‍යාගාරයකට හෝ ගොස් පලග බැඳැ හිඳැ ගෙනැ කය සෘජු ව තබා සිහිය කර්‍මස්ථානයට අභිමුඛ කොටැ පිහිටුවා සිහි ඇති වැ ම ආශ්වාස කරන්නේ ය. සිහි ඇතිවැ ම ප්‍ර‍ශ්වාස කරන්නේ ය. දීර්‍ඝ කොටැ ආශ්වාස කරමින් දීර්‍ඝ කොටැ ආශ්වාස කරමි යි දැනැ ගන්නේ ය. දීර්‍ඝ කොටැ ප්‍ර‍ශ්වාස කරමින් දීර්‍ඝ කොටැ ප්‍ර‍ශ්වාස කරමි දැනැ ගන්නේ ය. ලුහුඬු කොටැ ආශ්වාස කරමින් ලුහුඬු කොටැ ආශ්වාස කරමි දැනැ ගන්නේ ය. ලුහුඬු කොටැ ප්‍ර‍ශ්වාස කරමින් ලුහුඬු කොටැ ප්‍ර‍ශ්වාස කරමි දැනැ ගන්නේ ය. සබ්බකායපටිසංවෙදි වැ ආශ්වාස කරමි යි හික්මෙන්නේ ය. සබ්බකායපටිසංවෙදි වැ ප්‍ර‍ශ්වාස කරමි යි හික්මෙන්නේ ය. -පෙ- පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්වාස කරමි යි හික්මෙන්නේ ය. පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍ර‍ශ්වාස කරමි යි හික්මෙන්නේ’ යි ෂෝඩශවස්තුක ආනාපාණසති කර්‍මස්ථානය වදාළ සේක. දැන් කළ යුත්තේ ඒ භාවනා කරන ක්‍ර‍මය විස්තර කිරීම යි. පාළි අනුසාරයෙන් ම එය විස්තර කරන කල සර්‍ව සම්පූර්‍ණ වන බැවින් මෙතැන් පටන් එසේ විස්තර කරමු.

 

“කථං භාවිතො ච භික්ඛවෙ ආනාපාණසති සමාධි” - යන මෙහි “කථං” යනු ආනාපාණසතිසමාධි භාවනාව නානා ප්‍ර‍කාරයෙන් විස්තර කරනු කැමැත්තෙන් කරන විචාරීම ය. “කෙසේ” යනු එහි අර්‍ථ යි. “භාවිතො භික්ඛවෙ ආනාපාණසතිසමාධි” යනු එසේ විචාරනු ලබන ධර්‍ම ය. “කථං බහුලීකතො -පෙ- වූපසමෙති” යනු දු ඒ මැ යි.

 

භාවිතො = උපදවන ලද හෝ වඩන ලද (ඉපදැ ලබ්ධාසෙවන වූයේ භාවිත ය. ප්‍ර‍ගුණ භාවයට ගියේ වඩ්ඪිත ය.)

 

“ආනාපාණසති සමාධි = ආශ්වාස - ප්‍ර‍ශ්වාස පිරිසිඳැ ගන්නා සිහිය හා යෙදුණු සමාධි ය. මෙයින් සති සමාධීන්ගේ එකුප්පාදාදි ලක්‍ෂණ කීහ. නොහොත් ආනාපාණසතියෙහි වූ සමාධි කීහ.

 

බහුලීකතො = බොහෝ කොටැ පවත්වන ලද හෙවත් නැවත නැවත කරන ලද. මෙයින් ආවර්‍ජනාදි වශීභාවය කීහ. (මේ පද තුනින් උපදවා ගත් - උපදවා ගෙනැ ආසේවනය කැරැ ගත් - ආසේවනය කැරැ ප්‍ර‍ගුණ කැරැ ගත් - ප්‍ර‍ගුණ කැරැ ගෙනැ ආවජ්ජන සමාපජ්ජනාදි පස් ආකාරයෙන් වශඟ කැරැ ගත් ආනාපාණසති සමාධිය කියවුණේය ය යි දත යුතු.)

 

සන්තො චෙව පණිතො ච = “සන්තො ච එව පණිතොච එව” යි ඒව ශබ්දය දෙ තන්හිම ලා ශාන්ත ම ද, ප්‍ර‍ණීත ම දැ යි අර්‍ථ ගත යුතු.

 

එහි අදහස මෙසේ ය:- අශුභ කර්‍මස්ථාන ශාන්ත ප්‍ර‍ණීත වන්නේ හුදෙක් ප්‍ර‍තිවේධ වශයෙන් පමණෙකි. ආරම්මණ වශයෙන් ඒ ශාන්ත ප්‍ර‍ණීත නොවේ. කුමක් හෙයින් ද ඒ අශුභාරම්මණ ඖදාරික ද පිළිකුල් ද බැවිනි. මේ ආනාපාණසතිය ඒ කෙසේ හෝ අශාන්ත - අප්‍ර‍ණීත නො වේ. සියලු ආකාරයෙන් ම ශාන්ත-ප්‍ර‍ණීත වේ. ආරම්මණ ශාන්තත්‍වයෙන් ද ශාන්ත වේ. ව්‍යුපශාන්ත වේ. නිර්‍වෘත වේ. ප්‍ර‍තිවේධ සංඛ්‍යාත අඞ්ග ශාන්තත්‍වයෙන් ද ශාන්ත වේ. ව්‍යුපශාන්ත වේ. නිර්‍වෘත වේ. ආරම්මණ ප්‍ර‍ණීතත්‍වයෙන් ද ප්‍ර‍ණීත වේ. අතෘප්තිකර වේ. ප්‍ර‍තිවේධ සංඛ්‍යාත අඞ්ග ප්‍ර‍ණීතත්‍වයෙන් ද ප්‍ර‍ණීත වේ. අතෘප්තිකර වේ. එහෙයිනි කියන ලද්දේ “සන්තො චෙව පණිතො ච” යි (අශුභාරම්මණ මහත් ය. පිළිකුල් ය. එබැවින් ඒ ආරම්මණ වශයෙන් ශාන්ත ප්‍ර‍ණීත නො වේ. මේ ආශ්වාස - ප්‍ර‍ශ්වාසාරම්මණ සියුම් ය. ප්‍ර‍ණීත ය. එ බැවින් ඒ ආරම්මණ වශයෙන් ශාන්ත ප්‍ර‍ණීත වේ යයි කී සේයි. ප්‍ර‍තිවේධ වශයෙන් දෙක ම ශාන්ත ප්‍ර‍ණීත යි.)

 

අසෙචනකො ච = (නාස්ස සෙචනාති අසෙචනකො) ශාන්ත ප්‍ර‍ණීත කැරැ ගන්නා පිණිස අමුතුයෙන් යමක් වත් කළ යුතු නො වේ. එ හෙයින්ම අනාසිත්තකය. අනාසිත්තක හෙයින් ම අව්‍යාකීර්‍ණය හෙවත් අසම්මිශ්‍ර‍ ය. අව්‍යාකීර්‍ණ හෙයින් ම පාටියෙකක ය හෙවත් වෙන් ය. ආවෙනික ය මෙහි පරිකර්‍මයෙන් හෝ උපචාරයෙන් හෝ ශාන්ත භාවයෙක් වුවමනා නොවේ. ස්වභාවයෙන් ම ශාන්තය ප්‍ර‍ණීතය යි සේ යි. (ඇතැම්හු “මේ ‘අසෙචනකො’ යන්නට අනාසිත්තක ය, ඔජස් වී ය, ස්වභාවයෙන්ම මධුරය, යන අර්‍ථ දෙත්.)

 

සුඛො ච විහාරො = අර්පිත - අර්පිත ක්‍ෂණයෙහි හෙවත් සමවතට සමවන් - සමවන් ඇසිල්ලෙහි කායික-චෛතසික සුඛ ප්‍ර‍තිලාභයට කරුණු වන බැවින් සුඛවිහාරද වේ. (ත්‍රික-චතුෂ්ක-ධ්‍යාන වශයෙන් හෝ උපේක්‍ෂාවගේ ශාන්ත බැවින් හෝ සුඛගතික හෙයින් සියලු ධ්‍යානයන්ගේ වශයෙන් චෛතසික සුඛ ප්‍ර‍තිලාභයට කාරණ වෙයි. ධ්‍යානසමුත්‍ථාන ප්‍ර‍ණීත රූප ස්ඵුට ශරීර ඇති බැවින් කායික සුඛ ප්‍ර‍තිලාභයට කාරණා වේ. හේ ධ්‍යානයෙන් නැඟි සඳ වෙයි යනු සන්න යි.

 

උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ = උපනුපන් (විෂ්කම්භනය නො කළ) ලාමක අකුශල ධර්‍මයන්-අකුශල ධර්‍ම නම් අකෞශල්‍ය සංඛ්‍යාත අවිද්‍යායෙන් නිපන් ධර්‍මය -පාප ධර්‍ම යි සේ යි.

 

ඨානසො අන්තරධාපෙති = ඇසිල්ලකින් ම අතුරුදහන් කරයි - විෂ්කම්භනය කරයි.

 

වූපසමෙති = විශේෂයෙන් සන්සිඳුවයි. (“සෙසු සමාධි ද තමාගේ ප්‍ර‍වෘත්තික්‍ෂණයෙහි ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මයන් වූපසනය කෙරෙයි. කුමක් හෙයින් ද මේ සමාධි ය මෙසේ වෙසෙසා කියන ලද ද යත් :- පූර්‍වභාගයෙහි පටන් ම නානා විතර්‍ක ව්‍යපශමනය කරන හෙයින.

 

එ හෙයින් ම කීහ : “ආනාපාණසති භාවෙතබ්බා චිතක්කූපච්ඡෙදාය” යි අනෙකෙකුදු ඇත. මේ කමටහන තීක්ෂණ ප්‍ර‍ඥා ඇති ඥානොත්තරයහට ය. ඥානොත්තරාගේ ක්ලේශ ප්‍ර‍හාණය සෙස්සන්ගේ ක්ලෙශ ප්‍ර‍හාණයට වඩා සාතිශය වේ. ශ්‍ර‍ද්ධා විමුක්තයහට වඩා දෘෂ්ටිප්‍රාප්තයාගේ ක්ලේශ ප්‍ර‍හාණිය මෙනි. එහෙයින් මේ ආනාපාණසති විශේෂය සඳහා “ඨානසො අන්තරධාපෙති වූපසමෙති”යි කීහු. නොහොත් නිමිත්ත ප්‍රාදුර්‍භාවය ඇති කල්හි ඒ ක්‍ෂණයෙහි ම අඞ්ගප්‍රාදුර්‍භාවය වන හෙයින් මේ සමාධිය ම “ඨානසො අන්තරධාපෙති වූපසමෙති”යි කියන ලදි” යනු සන්නයි.

 

තවද මෙය නිබ්බේධ භාගිය බැවින් පිළිවෙළින් ආර්‍ය්‍යමාර්‍ග වෘද්ධියට පැමිණැ කෙලෙස් සිඳැලයි - සන්සිඳුවෙයි. (ශාසනිකයන්ගේ ධ්‍යාන භාවනාව බොහෝ සෙයින්ම නිබ්බේධභාගිය ය. බුදුන්ට වනාහි ඒකාන්තයෙන් නිබ්බේධභාගිය ම වේ. මේ කමටහන වඩා ම සියලු බුදුවරයෝ බුද්ධත්‍වයට පැමිණෙත්.)

 

‘කථං භාවිතො ච භික්ඛවෙ” යනාදියෙහි විස්තරය යට දැක්වුණේ ය. එහි සංක්‍ෂෙපාර්‍ථය මෙසේය. ‘මහණෙනි! කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපාණසති සමාධිය ශාන්ත-ප්‍ර‍ණීත-අසේචනක-සුඛවිහාර වන්නේද, කෙසේ උපනුපන් ලාමක අකුශල ධර්‍ම ඇසිල්ලෙන් අතුරුදහන් කරන්නේද සන්සිඳුවන්නේ ද මෙය විසඳනසේක් “ඉධ භික්ඛවෙ භික්ඛු” යනාදීන් වදාළ සේක.

 

ඉධ භික්ඛවෙ භික්ඛු = මහණෙනි! මේ ශාසනයෙහි භික්‍ෂු. මේ ශාසනයෙහි යන්නෙන් සර්‍වාකාර ආනාපාණසති සමාධි උපදවන යෝගාවචරයාට ආධාර වූ බුද්ධශාසනය දක්වයි. එසේ නැති අන්‍ය ශාසන ප්‍ර‍තිෂේධ කරයි.

 

වදාළේ මැයි:- “ඉධ භික්ඛවෙ සමණො - පෙ-සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ”[299] යි. මහණෙනි! ප්‍ර‍ථම ශ්‍ර‍මණ ද මේ ශාසනයෙහි ම ය. ද්විතීය ශ්‍ර‍මණ ද මේ ශාසනයෙහි ම ය. තෘතීය ශ්‍ර‍මණ ද මේ ශාසනයෙහි ම ය. චතුර්‍ථ ශ්‍ර‍මණ ද මේ ශාසනයෙහිම ය. පරප්‍ර‍වාද ශුන්‍යය. ශ්‍ර‍මණයන්ගෙන් හිස් ය.

 

අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාර ගතො වා = මෙයින් ඒ භික්‍ෂුහට ආනාපාණසති සමාධි භාවනාවට සුදුසු සෙනසුන දක්වයි. බොහෝ කලක් රූපාදි නානා අරමුණෙහි බැඳී ගිය සිත ආනාපාණසති සමාධි අරමුණට නැඟෙන්නට නො කැමැති වැ කුළු ගොනකු යෙදූ රථය මෙන් නො මඟට ම දුවයි. කුළු දෙනගේ කිරි මුළුල්ල බී වැඩුණු කුළු වසු හික්මවා ගනු කැමැති ගොපොල්ලා ඒ වසු දෙනගෙන් ඉවත් කොටැ අසල සවි ඇති ටැඹක් සිටුවා එහි යොතින් බැඳැලයි. වසු ඔබ මොබ දඟලා පැන යා නො හැකි වැ ඒ ටැම් මුල ම වැතිරැ හිඳී. එක්කෝ එහි ම නිදයි. එමෙන් බොහෝ කලක් රූපාරම්මණාදි රස පානයෙන් වැඩුණු ස්වකීය දුෂ්ට වූ සිත දමනය කැරැ ලනු කැමැති ඒ භික්‍ෂු ද ඒ සිත රූපාදි අරමුණෙන් ඉවත්කොටැ ලා වලකට හෝ රුක්මුලකට හෝ හිස් ගෙයකට හෝ එළඹැ ආනාපාණ ටැඹෙහි සත් යොතින් බඳින්නේ ය. එවිට ඒ සිත ඔබ-මොබ දුවැ ද පෙර පුරුදු අරමුණු නො ලැබැ සත් යොත කඩා ගෙනැ පැනැ යා නො හැකි වැ එ අරමුණ මැ ගෙනැ උපචාර - අර්පණා වශයෙන් පවත්නේ ය. එහෙයින් කීහු පෞරාණිකයෝ :-

 

“යථා ථම්හෙ නිබන්‍ධෙය්‍ය - වච්ඡං දම්මං නරො ඉධ

බන්‍ධෙය්‍යෙවං සකං චිත්තං - සතියාරම්මණෙ දළ්හ”[300] යි.

 

‘ගොපොල්ලා දමනය කැරැ ගත යුතු වසු යොතින් ටැඹෙහි බැඳැ ලන්නා සේ යෝගාවචර ස්වකීය සිත සිහියෙන් අරමුණෙහි දැඩි වැ බැඳැ ලන්නේ ය.’ මෙසේ හෙයින් ඔහුගේ ඒ සේනාසනය භාවනාවට යෝග්‍ය වන්නේ ය. “මෙයින් ඒ භික්‍ෂුහට ආනාපාණසති සමාධි භාවනාවට සුදුසු සෙනසුන දක්වයි” යනු යට දැක්වුණේ මේ නිසා ය.

 

තව ද මේ ආනාපාණසති කර්‍මස්ථානය සෙසු කර්‍මස්ථානයන්ට වඩා ප්‍ර‍ධාන ය. බුදු-පසේබුදු-බුදුසව්වන්ගේ විශේෂාධිගමයට හා මේ අත්බැව්හි සැප විහරණයට හා කාරණ ය. ස්ත්‍රී-පුරුෂ-ඇත්-අස්-ගව ආදීන්ගෙන් ගහණ වූ ග්‍රාමාන්තය හැරැ නො පියා භාවනා කළ නො හැකි ය. එයට ශබ්දය කටුවන බැවිනි. අග්‍රාම අරණ්‍යයෙහි නම් භාවනා කළ හැකි ය. යෝගාවචරහට අග්‍රාම අරණ්‍යයෙහි දී මෙය වඩා ආනාපාණසති චතුර්‍ථධ්‍යානය ලැබැ එම පාදක කොටැ සංස්කාර සම්මර්‍ශනයෙන් අග්‍ර‍ඵල සංඛ්‍යාත අර්‍හත්‍වය ලැබැ ගත හැකි ය. එ බැවින් එයට අනුරූප සෙනසුන් දක්වන බුදුරජාණන් වහන්සේ “අරඤ්ඤගතො වා” යනාදීන් වදාළ සේක. බුදුරජාණන් වහන්සේ වාස්තුවිද්‍යාව දන්නා ආචාර්‍ය්‍යවරයකු බඳු ය. වාස්තු විද්‍යාචාර්‍ය්‍ය වනාහි නගර නිර්‍මාණයට සුදුසු භූමියක් දැක මැනෙවින් පරීක්‍ෂා කොටැ බලා “මෙහි නුවර නංවවු ය’ යි උපදෙස් දී සුවසේ නුවර නිමි කල්හි රජකුලයෙන් මහත් සත්කාර ලබන්නේ ය. බුදුරජාණන් වහන්සේ ද යෝගාවචරහට යෝග්‍ය වූ සෙනසුන සොයා “මෙහි කමටහන් වඩව”යි නියෝග දී කමටහන් වැඩූ යෝගාවචර අර්‍හත්‍වයට පැමිණි කල්හි “ඒකාන්තයෙන් භාග්‍යවත්හු සම්‍යක් සම්බුද්ධයෝ ය” යන මහත් සත්කාරය ලබන සේක.

 

මේ යෝගාවචර භික්‍ෂු දිවියකු බඳුය යි කිය යුතු. දිවි වනාහි වනාන්තරයෙහි වන ලැහැබෙක හෝ තෘණ ලැහැබෙක හෝ ගිරිදුර්‍ගයෙක හෝ සැඟවී සිටැ වල්මී-ගෝන-හූරු ආදීන් අල්වා ගන්නේ ය. අරණ්‍යාදියෙහි වැදී කර්‍මස්ථාන වඩනා යෝගාවචර භික්‍ෂු ද පිළිවෙළින් සෝවාන්-සකෘදාගාමි-අනාගාමි-අර්‍හත් මාර්‍ග-ඵල ලබා ගන්නේ ය.

 

කීයේ මැයි පෞරාණිකයන් විසින් :-

“යථා පි දීපිකො නාම - නිලීයිත්‍වා ගණ්හති මිගෙ

තථෙවායං බුද්ධපුත්තො - යුත්තයොගො  විපස්සකො

අරඤ්ඤං පවිසිත්‍වාන - ගණ්හාති ඵලමුත්තමං”[301] යි.

 

‘යම් සේ දිවි සැඟවී සිටැ මුවන් අල්ලා ගන්නේ ද, එසේ මේ යුක්තයෝග විදර්‍ශක බුද්ධපුත්‍ර‍ ද අරණ්‍යයට වැදැ උතුම් මාර්‍ග-ඵල ලබා ගන්නේ ය.

 

එසේ හෙයින් යෝගිහුගේ පරාක්‍ර‍ම ජවයට යෝග්‍ය භූමි වූ අරණ්‍ය සෙනසුන දක්වන භාග්‍යවතුන් වහන්සේ “අරඤ්ඤගතො වා” යනාදීන් වදාළ සේක.

 

අරඤ්ඤගතො වා = අරණ්‍යයකට ගියේ හෝ “අරඤ්ඤංනාම නික්ඛමිත්‍වා බහි ඉන්‍දඛීලා සබ්බමෙතං අරඤ්ඤං”යි අභිධර්‍මක්‍ර‍මයෙන් ද, “අරඤ්ඤං නාම සෙනාසනං පඤ්චධනු - සතිකං පච්ඡිමං”යි සූත්‍ර‍ ක්‍ර‍මයෙන් ද කී ලක්‍ෂණ ඇති අරණ්‍ය අතුරෙන් විවෙකසුඛයෙන් යුත් යම්කිසි අරණ්‍යයකට ගියේ හෝ

 

රුක්ඛමූලගතො වා = වෘක්‍ෂ සමීපයකට ගියේ හෝ

 

සුඤ්ඤාගාරගතො වා = ජන ශුන්‍ය විවේක ගෘහයකට ගියේ හෝ අරණ්‍ය - වෘක්‍ෂමූල හැරැ සෙසු පර්‍වත - කන්‍දර ගිරිගුහා - සුසාන - වනපත්‍ථ - අබේභාකාස - පලාලපුඤ්ජ යන සප්තවිධ සේනාසන ශුන්‍යාගාරය යි කිය යුතු.

 

මෙයින් සෘතු තුනට ද, ධාතු තුනට ද, චරියා තුනට ද, යෝග්‍ය වූ ආනාපාණසති භාවනානුකුල සේනාසන දක්වන ලද්දේ ය. (“ගිම් කල්හි ශීතල බැවින් අරණ්‍යය අනුකුල වේ ශරත්’ කල්හි විවරණ බැවින් රුක් මුල් අනුකුල වේ වැසි කල්හි වැසි වරණ බැවින් ශුන්‍යාගාරය අනුකුල වේ. ශ්ලේෂ්ම ප්‍ර‍කෘතිහට අරණ්‍යය, පිත්ත ප්‍ර‍කෘතිහට වෘක්‍ෂමූල ය, වාත ප්‍ර‍කෘතිහට ශුන්‍යාගාරය අනුකූල වේ” යනු සන්න යි.) එසේ දක්වා සයනය කුසීත පක්‍ෂයෙහි ද ස්ථාන චංක්‍ර‍මණ ඖදධත්‍ය පක්‍ෂයෙහි ද වැටෙන බැවින් ඒ තුන හැරැ අලීන අනෞදධත්‍ය පාක්‍ෂික වූ හිඳීම දක්වන්නේ “නිසීදති” යි කීහ.

 

නිසීදති = හිඳැ ගන්නේ ය.

 

හිඳැ ගැන්ම දැඩි වන සැටි ද, ආශ්වාස-ප්‍ර‍ශ්වාස සුව සේ පවත්නා සැටි ද අරමුණු ගැන්මට සුදුසු වන සැටි ද දක්වන්නේ ඉක්බිති “පල්ලඞ්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා”යි කීහ.

 

පල්ලඞ්කං ආභූජිත්‍වා = හාත්පසින් ඌරුබද්ධාසනය බැඳැ - අරමිනිය ගොතා හිඳැ ගෙනැ යි සේ යි. (මෙයින් හිඳැ ගැන්ම දැඩි වන සැටි කීහ)

 

උජුං කායං පණිධාය = උපරි ශරීරය සෘජු වැ තබා ගෙනැ - අටලොස් පිටකටු ඇට කොන් එකක් මතු එකක් තිබෙන සේ පිළිවෙළින් පිහිටුවා ගෙනැ මෙසේ උන් කල්හි සම්-මස්-නහර නො නැමෙන බැවින් විටින් විටවත් වේදනා නූපදියි. වේදනා නැති කල්හි සිත එකඟ වේ. කමටහන නො වැටෙයි. එයින් භාවනා වෘද්ධිය වේ. (මෙයින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස සුවසේ පවත්නා සැටි කීහ.)

 

පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා = කර්‍මස්ථානාභිමුඛ කොටැ සිහිය එළවා (බාහිර අරමුණින් සිහිය ඉවත් කොටැ කර්‍මස්ථානයට අභිමුඛ කොටැ පිහිටුවා යනු අර්‍ථ යි. මෙහි පරි යනු අභි යන්නෙහි අර්‍ථය දෙයි. තවද “පරී‘ති පරිග්ගහට්ඨො, මුඛංති නීය්‍යානට්ඨො, සතීති උපට්ඨානට්ඨො තෙන වුච්චති පරිමුකං සතිං” යි පටිසම්භිදා පාළියෙහි කී පරිදි ද මෙහි ලා දත යුතු යි. පරි යනු පරිග්‍ර‍හාර්‍ථ ය, මුඛ යනු නිර්‍ය්‍යාණාර්‍ථ ය, සති යනු උපස්ථානාර්‍ථ යි. එහෙයින් පරිමුඛං සතිං යි කියනු ලැබේ. යනු එහි භාව යි. ‘ගන්නා ලද නිර්‍ය්‍යාණ ඇති සිහිය කොටැ’ යනු එහි සංක්‍ෂිප්ත තේරුම යි. (නිර්‍ය්‍යාණ නම් කෙලෙසුන්ගෙන් නික්මීම ය - නිර්‍වාණය - නිවන් අරමුණු කොටැ සිහිය උපදවා ගෙනැ)

 

සො සතොව අස්සසති සතො පස්සසති = ඒ භික්‍ෂු යට කී පරිදි හිඳැ ගෙනැ, යට කී පරිදි සිහි එළවා ගෙනැ ඒ සිහිය නො හරිමින් ම ආශ්වාස කරයි. සියලු තැන සතොකාරි වෙයි. සතොකාරී වැ කෙසේ ආශ්වාස කරන්නේ ද කෙසේ ප්‍ර‍ශ්වාස කරන්නේ ද යනු දක්වන්නට “දීඝං වා අස්සසන්තො” යනාදිය කීහ. පටිසම්භිදායෙහිදු “සතො ච අස්සසති සතො පස්සසති”[302] යි ද එහිම විභඞ්ගයෙහි ද “ඛත්තිංසාය ආකාරෙහි සතොකාරී හොති. දීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සතොකාරී හොති. දීඝං පස්සාසවසෙන -පෙ- පටිනිස්සග්ගානුපස්සි අස්සාසවසෙන පටිනිස්සග්ගානුපස්සි පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤානෙන සතෝකාරී හොති1 යි කියන ලද්දේ ය. දෙතිස් ආකාරයෙකින් සතෝකාරී වෙයි. දීර්‍ඝ කොටැ ආශ්වාස කිරීම් වශයෙන් සිත එකඟ වූ බව දැනුත් ම සිහිය එළඹුණේ වේ. ඒ සිහියෙන් ඒ නුවණින් සතෝකාරී වෙයි. දීර්‍ඝ කොටැ ප්‍ර‍ශ්වාස කිරීම් වශයෙන් යනාදි සෙසු සතලොස් තන්හි ද මෙසේ ම අර්‍ථ දත යුතු. (මෙයින් සතෝකාරී වැ ම ආශ්වාස ප්‍ර‍ශ්වාස කළ යුතු බව කීහ.)

 

දීඝං වා අස්සසන්තො = දීර්‍ඝ කොටැ හෝ ආශ්වාස කරන්නේ. ආශ්වාස නම් පිටවෙන වාතය යි ද, ප්‍ර‍ශ්වාස නම් ඇතුළු වෙන වාතය යි ද විනය අටුවාහි දැක්වේ. සූත්‍ර‍ අටුවාහි වනාහි ආශ්වාස නම් ඇතුළු වන වාතය යිද, ප්‍ර‍ශ්වාස නම් පිට වන වාතය යි ද දක්වා තිබේ. සියලුම ගර්‍භශායි සත්ත්‍වයන් මව් කුසින් බිහිවන කල පළමු කොටැ ඇතුළත තුබුණු වාතය පිටතට නික්මේ. පසු වැ පිටත වාතය සියුම් රජස් ගෙනැ ඇතුළට පිවිසැ තල්ලේ හැපී නිවී යයි. මේ ආශ්වාසය මේ ප්‍ර‍ශ්වාසය යි දතයුතු මෙසේ ය.

 

(‘මව් කුස උපන් සඳ නික්මෙනුවට අවකාශ නො ලද වාතය මව් කුසින් නික්මෙත් ම පිටතට නික්මෙන බැවින් උත්පත්ති ක්‍ර‍ම වශයෙන් විනය අටුවායෙහි ඇතුළත්හි නාශාවාතය ගෙනැ “ආදෞශ්වාසය” ආශ්වාස නමැයි කිවු. පළමු නාශාවාතය ඇතුළත ඉක්බිති බාහිර කරන බැවින් සූතාන්ත අටුවායෙහි භාවනා ක්‍ර‍මයෙන් ආදියෙහි නාශාවාතය ගෙනැ අදෞශ්වාසය ආශ්වාසය යි වදනා නාශාවාතය ආශ්වාස නමැ යි කීහු. විනය අටුවායෙහි උත්පත්ති ක්‍ර‍මයෙන් කීවා සිටුවා ප්‍ර‍වෘත්ති ක්‍ර‍ම භාවනාවට කැමැති විය යුතු බැවිනුදු ‘අස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො අජ්ඣත්තං වික්ඛෙපගතෙන චිත්තෙන”[303] යන පෙළ ඇති බැවිනුදු සූත්‍ර‍ අටුවායෙහි කී නියායෙන් ම වී යනු සන්න යි. ටීකායෙහි වනාහි “විනය නයෙන අන්තො උට්ඨි තස්සනං අස්සාසො, ඛහි උට්ඨිතස්සනං පස්සාසො. සුත්තන්ත නයෙන ඛහි උට්ඨහිත්‍වාපි අන්තොසසනතො අස්සාසො, අන්නො උට්ඨහිත්‍වාපි බහි සසනතො පස්සාසො” යි කීහු. යනු පැරකුම්බා සන්න යි)

 

මේ ආශ්වාස - ප්‍ර‍ශ්වාසයන්ගේ දීර්‍ඝ බව හෝ භ්‍ර‍ස්ව බව හෝ දත යුත්තේ කාල වශයෙනි. දීර්‍ඝ පෙදෙසක පැතිරැ පවත්නා දිය දික් ඇල්ලය යි ද, වැලි දික්වැල්ලය යිද, ලුහුඬු පෙදෙසක පැතිරැ පවත්නා දිය කොට ඇල්ල යිද, වැලි කොටවැල්ලය යි ද, ව්‍යවහාර කරනු ලැබේ. එමෙන් කලාප වශයෙන් සුණු විසුණු වූ ද ආශ්වාස - ප්‍ර‍ශ්වාස කාල වශයෙන් ගෙනැ දීර්‍ඝ ආශ්වාස-ප්‍ර‍ශ්වාසය, භ්‍ර‍ස්ව ආශ්වාස-ප්‍ර‍ශ්වාසය යි කියනු ලැබේ. ඇතුන්ගේ ද නයින්ගේ ද ශරීර දීර්‍ඝ ය. ඔවුන්ගේ ආශ්වාස-ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වැ සෙමෙන් පවත්නේ ය. එ බැවින් ඒ දීර්‍ඝ ආශ්වාස දීර්‍ඝ ප්‍ර‍ශ්වාසය යි කියනු ලැබේ. බලු-සා ආදීන්ගේ ශරීර ලුහුඬු ය. ඔවුන්ගේ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කොටින් - කොටින් ඉක්මන් වැ පවත්නේ ය. එබැවින් එය භ්‍ර‍ස්ව ආශ්වාස-භ්‍ර‍ස්ව ප්‍ර‍ශ්වාසය යි කියනු ලැබේ. මිනිසුන්ගෙන් ඇතැම් කෙනෙක් හස්ති-සර්‍පාදීන් මෙන් දීර්‍ඝ කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරති. ඇතැම් කෙනෙක් බලු-සා ආදීන් මෙන් ලුහුඬු කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරති. දීර්‍ඝ කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන කල්හි දීර්‍ඝ ආශ්වාස-ප්‍ර‍ශ්වාසය යි ද, භ්‍ර‍ස්ව කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන කල්හි භ්‍ර‍ස්ව ආශ්වාස-ප්‍ර‍ශ්වාසය යි ද දත යුතු.

 

මේ යෝගී භික්‍ෂු නව ආකාරයෙකින් දීර්‍ඝ කොටැ ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන්නේ “මම දීර්‍ඝ කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරමි”යි දැනැ ගන්නේ ය. එසේ දැනැ ගත් ඔහුට දීර්‍ඝ අස්සාස-පස්සාස රස්ස අස්සාස-පස්සාස යන සතරින් හෝ මේ කියනු ලබන නවයෙන් හෝ එක් ආකාරයෙකින් කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව සමෘද්ධ වේ.

 

පටිසම්භිදායෙහි :-

“කථං දීඝං අස්සසන්තො දීඝං[304] අස්සසාමීති පජානාති, දීඝං පස්සසන්තො දීඝං පස්සසාමිති පජානාති. දීඝං අස්සාසං අද්ධාසඞ්ඛාතෙ අස්සසති. දීඝං පස්සාසං අද්ධානසඞ්ඛාතෙ පස්සසති. දීඝං අස්සාස-පස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතිපි, පස්සසතිපි. දීඝං අස්සාසපස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතොපි පස්සසතොපි ඡන්‍දො උප්පජ්ජති. ඡන්‍දවසෙන තතො සුඛුමතරං දීඝං පස්සායං අද්ධානසඞ්ඛාතෙ පස්සසති. ඡන්‍දවසෙන තතො සුඛුමතරං දීඝං අස්සාසපස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතිපි පස්සසතිපි ඡන්‍දවසෙන තතො සුඛුමතරං දීඝං අස්සාස-පස්සාසං අස්ස සතොපි පස්සසතොපි පාමොජ්ජං උප්පජ්ජති. පාමොජ්ජවසෙන තතො සුඛුමතරං දීඝං අස්සාසපස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතො‘පි පස්ස සතො‘පි දීඝං අස්සාසපස්සාසා චිත්තං විවට්ටති. උපෙක්ඛා සණ්ඨාති. ඉමෙහි නවහි ආකාරෙහි දීඝං අස්සාසපස්සාසා කායො, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං කායො උපට්ඨානං නො සති, සති උපට්ඨානං චෙව සති ච, තායසතිසා තෙ ඤාණෙන තං කායං අනුපස්සති. තෙන වුච්චති කායෙ කායානුපස්සනා සතිපට්ඨානභාවනා[305] යි.

 

මෙහි අර්‍ථ මෙසේ ය:-

 

‘දීර්‍ඝ කොටැ ආශ්වාස කරන්නේ “දීර්‍ඝ කොටැ ආශ්වාස කරමි”යි ද කෙසේ දන්නේ ද,

 

‘දීර්‍ඝ ආශ්වාසය දීර්‍ඝ වේලාවක් ආශ්වාස කරයි’ දීර්‍ඝ ප්‍ර‍ශ්වාසය දීර්‍ඝ වේලාවක් ප්‍ර‍ශ්වාස කරයි. දීර්‍ඝ ආශ්වාස-ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වේලාවක් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරයි. එසේ දීර්‍ඝ ආශ්වාස-ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වේලාවක් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරත් ම ඒ යොගීහට කත්තුකම්‍යතා කුශලච්ඡන්දය උපදින්නේ ය. (කත්තුකම්‍යතා කුශලච්ඡන්‍දය නම් පෙරට වඩා අතිශයයෙන් භාවනා කරනු කැමැති බව යි.) ඉක්බිති ඒ කත්තුකම්‍යතා කුශලච්ඡන්‍ද වශයෙන් පෙරට වඩා අතිශයයෙන් සියුම් වූ (භාවනා බලයෙන් කායප්‍ර‍ශ්‍ර‍බ්ධ වූ දරථ පරිදාහ ඇති බැවින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස වාතයෝ සූක්‍ෂමතර වැ පවත්නාහු යි.” දීර්‍ඝ ආශ්වාසය දීර්‍ඝ වේලාවක් ආශ්වාස කරයි. කත්තුකම්‍යතා කුශලච්ඡන්‍ද වශයෙන් පෙරට වඩා අතිශයයෙන් සියුම් වූ දීර්‍ඝ ප්‍ර‍ශ්වාසය දීර්‍ඝ වේලාවක් ප්‍ර‍ශ්වාස කරයි. කත්තුකම්‍යතා කුශලච්ඡන්‍ද වශයෙන් පෙරට වඩා අතිශයයෙන් සියුම් වූ දීර්‍ඝ ආශ්වාස-ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වේලාවක් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරයි. එසේ කත්තුකම්‍යතා කුශලච්ඡන්‍ද වශයෙන් පෙරට වඩා අතිශයයෙන් සියුම් වූ දීර්‍ඝ ආශ්වාස-ප්‍රශ්වාස දීර්‍ඝ කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරත් ම ඒ යෝගීහට ප්‍රමෝදය උපදනේය. (“ආශ්වාස-ප්‍ර‍ශ්වාසයෙන් සූක්‍ෂ්මතර බැවිනුදු ආලම්බනය ශාන්තිකර බැවිනුදු කර්‍මස්ථානය වීථි ප්‍ර‍තිපන්න බැවිනුදු භාවනා චිත්තසහගත වූ ප්‍රමෝදය හෙවත් ක්‍ෂුද්‍රිකාදි ප්‍රභේද ඇති තරුණ ප්‍රීතිය උපදී” යනු සන්න යි.) ඉක්බිති ප්‍රමෝද වශයෙන් පෙරටත් වඩා අතිශයයෙන් සියුම් වූ දීර්‍ඝ ආශ්වාස දීර්‍ඝ වේලාවක් ආශ්වාස කරයි. එසේ මැ ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වේලාවක් ප්‍ර‍ශ්වාස කරයි. දීර්‍ඝ ආශ්වාස ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වේලාවක් ආශ්වාස ප්‍ර‍ශ්වාස කරයි. එසේ ප්‍රමෝද වශයෙන් පෙරට වඩා අතිශයයෙන් සියුම් වූ දීර්‍ඝ ආශ්වාස ප්‍ර‍ශ්වාස දීර්‍ඝ වශයෙන් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරත් ම (“අනුක්‍ර‍මයෙන් ආශ්වාස-ප්‍ර‍ශ්වාසයෙන් අතිශයයෙන් සූක්‍ෂමතර බවට පැමිණීමෙන් නො වැටහෙන කල්හි සෙවිය යුතු ආකාරයට පැමිණි”) ඒ ආශ්වාස-ප්‍ර‍ශ්වාසයන් කෙරෙන් සිත පෙරලෙයි. තත්‍ර‍ මධ්‍යස්ථතා සංඛ්‍යාත උපේක්‍ෂාව පිහිටයි. (භාවනා බෙලෙන් ආශ්වාස-ප්‍ර‍ශ්වාසයෙන් සූක්‍ෂමතර බවට පැමිණි කල්හි ඉඟි ප්‍ර‍තිභාග නිමිත්තය උපන් කල්හි ප්‍ර‍කෘති ආශ්වාස-ප්‍ර‍ශ්වාසය කෙරෙන් සිත නවතී. ඒ ප්‍ර‍තිභාග නිමිත්තයෙහි උපචාර-අර්පණා භෙද සමාධිය උපන් කල්හි නැවත ධ්‍යානෝත්පාදය පිණිස ව්‍යාපාරයක් නැති බැවින් අධ්‍යුපේක්‍ෂණය වෙයි කියත්” යනු සන්නයි.)

 

මේ නවාකාරයෙන් දීර්‍ඝ කොට පැවැති ආශ්වාස-ප්‍ර‍ශ්වාස කාය ය. (ආශ්වාස-ප්‍ර‍ශ්වාස නිසා උපන් ප්‍ර‍තිභාග නිමිත්ත ද ආශ්වාස-ප්‍ර‍ශ්වාස නමින් ම ගැණෙන බව දත යුතු.) ඒ ආශ්වාස-ප්‍ර‍ශ්වාස අරමුණ කරා එළඹ සිටින්නේ සතිය අනුපස්සනාව ඤාණ ය. (අනුපස්සනා නම් සමථ වශයෙන් ද, විපස්සනා වශයෙන් ද යථාභූතාවබොධය යි) කාය උපට්ඨාන ය. සති නො වේ. සතිය උපට්ඨාන හා සති වේ. ඒ සතියෙන් ඒ ඤාණයෙන් ඒ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කාය ලබන්නේ ය. එහෙයින් කායානුපස්සනා සතිපට්ඨාන භාවනා යයි කියනු ලැබේ. (“කුමක් කී නියාද යත් :- යථොක්ත වූ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කායයෙහි ද ඕහට නිශ්‍ර‍ය වූ කරජකායයෙහි ද කායයාගේ ම අනුපස්සනා ය. අනුදක වූ මරීචියෙහි උදකානුපස්සනාව මෙන් අනිත්‍යාදි ස්වභාවාකාරයෙහි නිත්‍යාදිශාවයෙන් අනුපස්සනාවක් නො වෙයි.

 

වැළි කිමෙක් ද යත් :- යථාර්‍භයෙන් අනිත්‍ය දුඃඛානාත්මාසුභභාවයාගේ ම අනුපස්සනා ය. නොහොත් කායයෙහි මම ය, මාගේ ය, ස්ත්‍රිය, පුරුෂය යි ගත යුතු කිසිවක්හු නැති බැවින් එබඳුවක්හු නො බලා කායාමාත්‍ර‍යාගේම අනුපස්සනාව කායානුපස්සනා නමි. ඒ කායානුපස්සනාව හා සම්ප්‍ර‍යුක්ත ස්මෘති තොමෝ ම උපස්ථාන වී සතිපට්ඨාන නම් වෙයි. ඔහුගේ භාවනාවට්ඨතාව කායානුපස්සනා සතිපට්ඨාන භාවනාය යි කී නියා යි” යනු සන්නයි.

 

“රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමිති පජානාති” යන්නෙහි දු ක්‍ර‍මය මෙසේ ය. “දීඝං අස්සාසං අදධනසඞ්ඛාතෝ” යනු වෙනුවට “රස්සංඅස්සායං ඉත්තරසඞ්ඛාතෙ”යි යොදනු. සෙස්ස පෙර කී සේ ම ය. 

 

මෙසේ මේ යෝගි දීර්‍ඝ කාල වශයෙන් ද, ස්වල්ප කාල වශයෙන් ද යට කී පරිදි ආශ්වාස ප්‍ර‍ශ්වාස වන්නේ “දීඝා වා අස්සසන්තො දීඝං අස්සසාමිති පජානාති-පෙ-රස්සං වා පස්සන්තො රස්සං පස්සසාමිති පජානාති”යි වන්නේ ය. එසේ දන්නා වූ ඒ යෝගීහුගේ නැහැ අග-

 

“දීඝො රස්සො ච අස්සාසො - පස්සාසොපි ච තාදිසො

චත්තාරො වණ්ණා වත්තන්ති - නාසිකග්ගෙච භික්ඛුනො” යි

 

කී පරිදි දීර්‍ඝ ආශ්වාස-භ්‍ර‍ස්ව ආශ්වාස දීර්‍ඝ ප්‍ර‍ශ්වාස-භ්‍ර‍ස්ව ප්‍ර‍ශ්වාස යන සතර ආකාරය පවත්නේ ය යි දත යුතු.

 

“සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමිති සික්ඛති

සබ්බකායපටිසංවේදි පස්සසිස්සාමීති සික්කති.”

 

‘සියලු ආශ්වාසකායයාගේ ආදි-මධ්‍ය-අවශාන ප්‍ර‍කට කොට දනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය.’ සියලු ප්‍ර‍ශ්වාස කායයාගේ ආදි මධ්‍ය අවශානය ප්‍ර‍කට කොට දනිමින් ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය, ආශ්වාස-ප්‍ර‍ශ්වාස ප්‍ර‍කට කොටැ දනිමින් ඥානසම්ප්‍ර‍යුක්ත සිතින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කළ යුතු යයි කී සේ ය.

 

ඇතැම් යෝගියකුට කලාප වශයෙන් සුණු විසුණු වූ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කායයෙහි ආදිය ප්‍ර‍කට වේ. මධ්‍ය අවශාන ප්‍ර‍කට නො වේ. ඒ යෝගී ආදිය ම පිරිසිඳැ දැන ගන්නට සමර්‍ථ වේ. මධ්‍ය-අවශාන දෙක්හි වෙහෙසට පත් වේ. ඇතැම් යෝගියකුට මධ්‍යය ප්‍ර‍කට වේ. ආදි-අවශාන ප්‍ර‍කට නො වේ. ඇතැම් යෝගියකුට අවශානය ප්‍ර‍කට වේ. ආදි - මධ්‍ය ප්‍ර‍කට නො වේ. හේ ආදි - මධ්‍යයෙහි වෙහෙසට පත් වේ. ඇතැම් යෝගියකුට ආදි - මධ්‍ය - අවශාන යන තුන් තැන ම ප්‍ර‍කට වේ. හේ ඒ සියල්ල ම පිරිසිඳැ දැන්මට සමර්‍ථ වේ. කිසි තැනෙතු දු වෙහෙසට පත් නො වේ. එබන්දකු විය යුතුය යි දක්වන්නට ය. “සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමිති සික්ඛති සබ්බකායපටිසංවේදි පස්සසිස්සාමීති සික්ඛති.” යි වදාළේ “සික්ඛති” යන්නෙහි තේරුම නම් ‘හික්මෙන්නේ ය-ගටෙන්නේ ය-වෑයම් කරන්නේ ය’ යනුයි.

 

මේ කී පරිදි තුන් තැන්හි ම හික්මෙන්නහුගේ යම් සංවරයෙක් වේ ද එය අධිශීල ශික්‍ෂා ය. යම් සමාධියක් වේ ද එය අධිචිත්තශික්‍ෂා ය. යම් ප්‍ර‍ඥාවෙක් වේ ද එය අධිප්‍ර‍ඥා ශික්‍ෂා ය. මේ මෙහිලා ත්‍රිවිධ ශික්‍ෂා යි.

 

ඒ අරමුණෙහි එ කී සිහියෙන් එ කී මනස්කාරයෙන් හික්මෙන්නේ ය, සෙව්නේ ය, වඩන්නේ ය, බහුල කරන්නේ ය යි එහි අර්‍ථ දත යුතු යි.

 

“දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති -පෙ- රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමිතී පජානාති”යි කියූ තන්හි හුදෙක් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කටයුතු බව කීවා විනා අන් කිසි කටයුත්තක් නො කීයේ ය. මෙ තැන් පටන් ඥානොත්පාදාදිය සඳහා උත්සාහ කටයුතු බව කියන්නේ ය. එහෙයින් එහි “අස්සසාමි, පස්සසාමි”යි වර්‍තමාන ක්‍රියායෙන් පාළිය දක්වා මෙතැන් පටන් කටයුතු ඥානොත්පාදාදි ආකාර දක්වන්නට “සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමි” යනාදීන් අනාගතකාල වශයෙන් පාළිය තබන ලදැ යි දතයුතු.

 

“පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති

පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති”

 

ඖදාරික කාය සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මෙන්නේ ය. ‘ඖදාරික කාය සංස්කාර සංසිඳුවමින් ප්‍ර‍ශ්වාස කරන්නෙමි’යි හික්මෙන්නේ ය. (කාය සංස්කාර නම් ආශ්වාස ප්‍ර‍ශ්වාස යි. එය චිත්තසමුට්ඨාන වුව ද කය පිළිබඳ වැ පවත්නා බැවින් කායසංස්කාරය යි කියන ලදී.)

 

එහි ඖදාරික බව ද, සියුම් බව ද, සන්සිඳුවනා සැටි ද මෙසේ දත යුතු. කර්‍මස්ථානාරම්භයට පළමු ඒ යෝගිහුගේ කය හා සිත සදරථ ය - ඖදාරික ය. කය හා සිත සදරථ-ඖදාරික කල්හි ඔහුගේ ආශ්වාස - ප්‍ර‍ශ්වාස ද ඖදාරික ය. - බලවත් ය. නාසිකාව නො පොහොනේ මුඛයෙන් ද ආශ්වාස - ප්‍ර‍ශ්වාස කරන්නේ ය. “නිසිදති පල්ලඞ්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය” යන ක්‍ර‍මයෙන් කය ද “පරිමුඛ සතිං උප්ඨාපෙත්‍වා” යන ක්‍ර‍මයෙන් සිත ද පරිග්‍ර‍හ කරන ලද කල්හි ඒ කය හා සිත ශාන්ත වන්නේ ය. කය හා සිත ශාන්ත කල්හි ආශ්වාස-ප්‍ර‍ශ්වාස ද ශාන්ත වැ සියුම් වැ පවත්නේ ය. ඇද්දෝ හෝ නැද්දෝ හෝ යි සෙවිය යුතු බවට පැමිණෙන්නේ ය. මිනිසකු වේගයෙන් දුවැ හෝ පර්‍වතයකින් බැසැ හෝ මහ බරක් හිසින් බහා සිටි කල්හි ඔහුගේ ආශ්වාස-ප්‍ර‍ශ්වාස ඖදාරික ය, නාසිකාව නො පොහොනේ මුඛයෙන් ද ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නේ ය. ඒ විඩාව දුරු කොටැ දිය නා පැන් බී කෙත් කඩක් ළය තබා ගෙනැ සිහිල් සෙවනේ හුන් කල්හි ඒ ආශ්වාස-ප්‍ර‍ශ්වාස සියුම් වැ ඇද්දෝ හෝ නැද්දෝ හෝ යි සෙවිය යුතු බවට පැමිණෙන්නේ ය. මෙහිදීත් එ බඳු යයි දත යුතු. කුමක් හෙයින් ද, අපරිගෘහිත කාලයෙහි ඔහුට ඖදාරික ඖදාරික ආශ්වාස-ප්‍ර‍ශ්වාස සන්සිඳුවමි යි යන අභෝගයෙක් සමන්නාභාරයෙක් - මනස්කාරයෙක් - ප්‍ර‍ත්‍යවෙක්‍ෂ්ණයෙක් නුවූයේ ය. පරිගෘහිතකාලයෙහි ම වූයේ ය. එ හෙයින් අපරිගෘහීත කාලයෙහි සියුම් නො වැ පරිගෘහිත කාලයෙහි ම සියුම් වන්නේ ය.

 

කියන ලද මැ යි :-

 

“සාරද්ධෙ කායෙ චිත්තෙ ච - අධිමතතං පවත්තති

අසාරද්ධමහි කායම්හි - සුඛුමං සම්පවත්තති”[306] යි.

 

“කාය චිත්ත සඳහා සහිත වූ - කෝප සහිත වූ කල්හි කායසංස්කාර අධික වැ පවත්නේ ය. කාය චිත්ත සිසිල් වූ - කෝප රහිත වූ කල්හි සූක්‍ෂම වැ පවත්නේ ය, යනු එහි අර්‍ථ යි.

 

“පරිගෘහීත කාලයෙහි ද ඖදාරික යි කිය යුතු. ප්‍ර‍ථම ධ්‍යානයෙහි සියුම් ය. ප්‍ර‍ථමධ්‍යානෝපචාරයෙහි ඖදාරික ය. ප්‍ර‍ථම ධ්‍යානයෙහි සියුම් ය. ප්‍ර‍ථමධ්‍යානයෙහි ද, ද්විතීයධ්‍යානෝපචාරයෙහි ද ඖදාරික ය, ද්විතීයධ්‍යානයෙහි සියුම් ය. ද්විතීයධ්‍යානෝපචාරයෙහි ද ඖදාරික ය. ද්විතීයධ්‍යානයෙහි සියුම් ය. ද්විතීයධ්‍යානයෙහි ද, තෘතීයධ්‍යානෝපචාරයෙහි ද ඖදාරික ය, තෘතීයධ්‍යානයෙහි සියුම් ය. තෘතීයධ්‍යානයෙහි ද චතුර්‍ථධ්‍යානෝපචාරයෙහි ද ඖදාරික ය, චතුර්‍ථධ්‍යානයෙහි අති සියුම් වැ - නැතැ යි කිය යුතු බවට පැමිණෙන්නේ ය” මේ කියන ලද්දේ දීඝභාණක සංයුත්තභාණකයන්ගේ මතය යි. මජ්ඣිමභාණකයෝ “ප්‍ර‍ථමධ්‍යානයෙහි ඖදාරික ය. ද්විතීයධ්‍යානෝපචාරයෙහි සියුම් ය” යනාදි වශයෙන් යට යට ධ්‍යානයෙහිදීට වඩා මතු මතු ධ්‍යානෝපචාරයෙහි දී සියුම් යයි කියති. දෙපක්‍ෂයේ ම මතයෙන් අපරිගෘහීත කාලයෙහි පැවති කාය සංස්කාර පරිගෘහීත කාලයෙහි සන්සිඳෙන බව ද, පරිගෘහිත කාලයෙහි පැවැති කායසංස්කාර ප්‍ර‍ථම ධ්‍යානෝපචාරයෙහි සන්සිඳෙන බව ද -පෙ- චතුර්‍ථ ධ්‍යානෝපචාරයෙහි පැවැති කාය සංස්කාර චතුර්‍ථ ධ්‍යානයෙහි දී සන්සිඳෙන බව ද කීයේ ය යි දත යුතු. මේ සමථයෙහි ක්‍ර‍මය යි.

 

විදර්‍ශනායෙහි දී වනාහි අපරිගෘහිත කාලයෙහි හෙවත් කමටහන් නො ගත් කල්හි පැවැති කායසංස්කාර ඖදාරික ය. සතර මහාභූත පරිගෘහීත කල්හි සුඛුම ය. සතර මහාභූත පරිගෘහීත කල්හි දු ඖදාරික ය. උපාදාය රූප පරිගෘහීත කල්හි සුඛුම ය. උපාදාය රූප පරිගෘහීත කල්හි දු ඖදාරික ය. සකල රූප පරිගෘහීත කල්හි සුඛුම ය. සකල රූප පරිගෘහීත කල්හි දු ඖදාරික ය. අරූප පරිගෘහීත කල්හි සුඛුම ය. අරූප පරිගෘහීත කල්හි දු ඖදාරික ය. රූපාරූප පරිගෘහීත කල්හි සුඛුම ය. එ ද ඖදාරික ය. ප්‍ර‍ත්‍යය පරිගෘහීත කල්හි සුඛුම ය. එ ද ඖදාරික ය. සප්‍ර‍ත්‍යය නාම-රූප පරිගෘහීත කල්හි සුඛුම ය. එ ද ඖදාරික ය. ලක්‍ෂණාරම්මණික විදර්‍ශනායෙහි සුඛුම ය. එ ද දුර්‍වල විදර්‍ශනායෙහි ඖදාරික ය. බලවත් විදර්‍ශනායෙහි සුඛුම ය. (මෙහි රූපාරූප පරිග්‍ර‍හය යි දෘෂ්ටි විශුද්ධි කීහු. සප්‍ර‍ත්‍යය නාම-රූප පරිග්‍ර‍හය යි කා ක්‍ෂාවිතරණ විශුද්ධි කීහු. ලක්ඛණාරම්මණික විපස්සනාය යි උදයව්‍යය දර්‍ශනයෙන් පෙරටු කලාප සම්මර්‍ශනයෙහි පහරවා කීහු බලව විපස්සනාය යි භඞ්ගානුදර්‍ශනායෙහි පහරවා හෝ නිර්‍වෙදානුදර්‍ශනායෙහි පහරවා හේ කීහ යනු සන්න යි. ටීකායෙහි ‘නිබ්බිදානු පස්සනතො පට්ඨාය බලව විපස්සනා. තතො ඔරං දුබ්බල විපස්සනා’යි කීහු යනු පැරකුම් සන්න යි.) සමථයෙහි කී සේ මෙහි පූර්‍ව පූර්‍ව කායසංස්කාර පශ්චිම-පශ්චිමයෙන් සන්සිඳෙන්නේ ය. කායසංස්කාර පිළිබඳ ඖදාරිකත්‍වය හා සූක්‍ෂමත්‍ව ද, පටිපපස්සද්ධිය ද මෙසේ මෙහි දක්වන ලදැයි දත යුතු.

 

සැරියුත් ස්වාමි පරිසම්භිදායෙහි දී මේ අර්‍ථය චෝදනා පරිහාර සමගින් මෙසේ දක්වයි.

 

“කථං පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛතිපස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති.

 

කතමෙ කායසඞ්ඛාරො? දීඝං අස්සාසපස්සාසා-කායිකා එතෙ ධම්මා කායපටිබද්ධා-කායසඞ්ඛාරා තෙ කායසඞ්ඛාරෙ පස්සම්භෙන්තො නිරොධෙන්තො වුපසමෙන්තො සික්ඛති. යථාරූපෙහි කායසඞ්ඛාරෙහි කායස්ස ආනමනා විනමනා සත්තමනා පනමනා ඉඤ්ජනා ඵන්‍දනා චලනා කම්පනා. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති යථාරූපෙහි කායසංඛාරෙහි කායස්ස න ආනමනා, න විනමනා, න සන්නමනා, න පනමනා, අතිඤ්ජනා අඵන්‍දනා අචලනා අකම්පනා සන්තං සුඛමං පස්සම්භයං කායසඞ්ඛාරං අස්ස සිස්සාමීති පස්සසිස්සාමීති සික්ඛතීති. ඉති කිර පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. එවං සන්තෙ වාතුපලද්ධියා ච පහාවනා න හොති. අස්සාසපස්සාසානං ච පභාවනා න හොති. ආනාපාණසතියා ච පභාචනා න හොති. ආනාපාණසති සමාධිස්ස ච පභාචනා න හොති. න ච නං තං සමාපත්තිං පණ්ඩිතා සමාපජ්ජන්තිපි වුට්ඨහන්තිපි. ඉති කිර පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. එවං සන්තො වාතුපලද්ධියා ච පභාචනා හොති. අස්සාසපස්සාසානං ච පභාචනා න හොති. ආනාපාණසතියා ච පභාචනා න හොති. ආනාපාණසතිසමාධිස්ස ච පභාචනා හොති. තං ච නං සමාපත්තිං පණ්ඩිතා සමාපජ්ජවන්තිපි වුට්ඨහන්තිපි.

 

යථාකථං විය?

 

සෙය්‍යථාපි කංසෙ ආකොටිතෙ පඨමං ඔළාරිකා සද්දා පවත්තන්ති. ඔළාරිකානං සද්දානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සුපධාරිතත්තා නිරුද්ධෙපි ඔළාරිකෙ සද්දෙ අථ පච්ඡා සුඛුමකා සද්දා පවත්තන්ති. සඛුමකානං සද්දානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සූපධාරිතත්තා නිරුද්ධෙපි සුඛුමකෙ සද්දෙ අථ පච්ඡා සුඛුමසද්ද නිමිත්තාරම්මණතාපි චිත්තං පවත්තති. එවමෙවං පඨමං ඔළාරිකා අස්සාස-පස්සාසා පවත්තන්ති. ඔළාරිකානං අස්සාස පස්සාසානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සූපධාරිතත්තා නිරුද්ධෙපි ඔළාරිකෙ අස්සාස පස්සාසෙ අථ පච්ඡා සුඛුමකා අස්සාසපස්සාසා පවත්තන්ති. සුඛුමකානං අස්සාසපස්සාසානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සූපධාරිතත්තා නිරුද්ධෙපි සුඛුමකෙ සද්දෙ අථ පච්ඡා සුඛුමසද්ද නිමිත්තාරම්මනතාපි චිත්තං පවත්තති. එවමෙවං පඨමං ඔළාරිකා අස්සාස-පස්සාසා පවත්තන්ති. ඔළාරිකානං අස්සාස පස්සාසානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සූපධාරිතත්තා නිරුද්ධෙපි ඔළාරිකෙ අස්සාස පස්සාසෙ අථ පච්ඡා සුඛුමකා අස්සාසපස්සාසා පවත්තන්ති. සුඛුමකානං අස්සාසපස්සාසානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සූපධාරිතත්තා නිරුද්ධෙපි සුඛුමකෙ අස්සාසපස්සාසෙ අථ පච්ඡා සුඛුමඅස්සාස-පස්සාසානිමිත්තාරම්මණතාපි චිත්තං න වික්ඛෙපං ගච්ඡති. එවං සන්තෙ වාතුපලද්ධියා ච පහාවනා හොති, අස්සාසපස්සාසානං ච පභාචනා හොති, ආනාපාණසතියා ච පභාචනා හොති, ආනාපාණසතිසමාධිස්ස ච පභාචනා හොති. තං ච නං සමාපත්තිං පණ්ඩිතා සමාපජ්ජන්තිපි වුට්ඨහන්තිපි. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සාසපස්සාස කායෙ උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං, කායො, උපට්ඨානං නො සති, සති උපට්ඨානං චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස්සති. තෙන වුච්චති කායෙ කායානුපස්සනා සතිපට්ඨාන භාවනාති.

 

මෙහි සංක්‍ෂෙපාර්‍ථ මෙසේ ය :-

 

“පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති” යනු කෙසේ වේ ද

 

‘මෙහි කායසඞ්ඛාර නම් දීර්‍ඝ ආශ්වාස-ප්‍ර‍ශ්වාසයෝ ය. ඔව්හු කායික බැවින් කායප්‍ර‍තිබද්ධ බැවින් කායසඞ්ඛාරය යි කියනු ලැබෙත්. යම් කායසඞ්ඛාරයෙකින් ශරීරය ඉදිරියට නැවීම් දෙපසට නැමීම් සැලීම් ආදි ක්‍රියා කෙරේ ද ඒ කායසඞ්ඛාර ඖදාරික කායසංස්කාර ය. ඒ ඖදාරික කායසංස්කාර සන්සිඳුවමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරමි යි හික්මෙන්නේ ය. යම් කායසංස්කාරයෙකින් ශරීරය ඉදිරියට නැමීම් දෙපසට නැමීම් සැලීම් ආදි ක්‍රියා නොකෙරේ ද, ඒ කායසංස්කාර සූක්‍ෂ්ම කායසංස්කාර ය. ඒ සූක්‍ෂ්මකායසංස්කාර සන්සිඳුවමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරමි යි හික්මෙන්නේ ය’

 

(චෝදනාවෙකි) එසේ නම් ආශ්වාස-ප්‍ර‍ශ්වාසය වාතය අරමුණු කොටැ ගත් සිතෙක පැවැත්ම නො වේ. ආශ්වාස-ප්‍ර‍ශ්වාසයන්ගේ පැවැත්ම ද නොවේ. ආනාපාණසතියේ පැවැත්ම ද නොවේ. ආනාපාණසතිසමාධියේ පැවැත්මද නොවේ. එ බඳු සමාපත්තියකට පණ්ඩිතයෝ සමවැදීම ද නො කරති. නැඟී සිටීම ද නො කරති.

 

(පරිහාර) එසේ ඇති කල්හි වාතය අරමුණු කොටැ ගත් සිතේ පැවැත්ම ද වේ. ආශ්වාස-ප්‍ර‍ශ්වාසයන්ගේ පැවැත්ම ද වේ. ආනාපාණසතියේ පැවැත්ම ද වේ. ආනාපාණසති සමාධිායේ පැවැත්ම ද වේ. පණ්ඩිතයෝ ඒ සමාපත්තියට සමවැදීම ද කෙරෙති. නැඟී සිටීම ද කරත්.

 

එයට උපමා මෙසේ ය :- ලොහො බඳුනකට තට්ටු කළ කල්හි පළමු කොට ඖදාරික හඬ නඟී. ඒ අනුවැ සිත පවතී. ඖදාරික හඬ අඩු වූ කල්හි සියුම් හඬ පවතී. ඒ අනු වැ සිත ද පවතී, ඒ සියුම් හඬ නැති වැ ගිය කල්හි ද එය අරමුණු කොටැ සිත පවතී. එමෙන් පළමු කොටැ ඖදාරික ආශ්වාස-ප්‍ර‍ශ්වාස සන්සිඳුණු කල්හි සූක්‍ෂම ආශ්වාස-ප්‍ර‍ශ්වාස අරමුණු කොටැ සිත පවතී. ඒ සන්සිඳුණු කල්හි ද එය අරමුණු කොටැ සිත පවතී. සෙස්ස පෙර කී සේය.

 

කායානුපස්සනා වශයෙන් දැක්වූ ප්‍ර‍ථම චතුෂ්කයාගේ

අනුපූර්‍ව පද වර්‍ණනාව යි.

 

ආදිකර්‍මමිකහට කර්‍මස්ථාන වශයෙන් වදාළේ මේ දැක්වුණු චතුෂ්ක සතර පමණෙකි. මතු දැක්වෙන චතුෂ්ක ත්‍රිකය මෙයින් ධ්‍යාන ලත් පුද්ගලයාහට වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් වදාළේ ය. එ බැවින් මේ කර්‍මස්ථානය වඩා ආනාපාණ චතුර්‍ථධ්‍යානය පදස්ථාන කොටැ ඇති විදර්‍ශනායෙන් සිව් පිළිසිඹියා සමග අර්‍හත්ත්‍වය ලබනු කැමැති ආදිකර්‍මමිකයා විසින් පෙර කී සේ සිල් පිරිසිදු කැරැ ගැනීම් ආදි සියල්ල කොටැ යට කියූ පරිදි ආචාර්‍ය්‍යවරයකු කරා එළැඹැ උග්ගහ-පරිපුච්ඡා-උපට්ඨාන-අප්පණා-ලක්ඛණ යන සන්‍ධි පසින් යුත් කර්‍මස්ථානය උගත යුතු.

 

එහි :-

උග්ගහ නම් කර්‍මස්ථාන ග්‍ර‍න්‍ථය උගැන්ම ය.

 

පරිපුච්ඡා නම් අර්‍ථ උගැන්ම ය. නොහොත් ග්‍ර‍න්‍ථ වශයෙන් අර්‍ථ වශයෙන් කර්‍මස්ථාන උගැන්ම උග්ගහ ය. එහි සැක තැන් විචාරීම පරිපුච්ඡා යි.

 

උපට්ඨාන නම් මේ භාවනායෙහි යෙදෙන්නහුට මෙසේ නිමිත්ත උපදී ය යි වටහා ගැන්ම ය.

 

අප්පණා නම් මෙයින් මෙසේ ධ්‍යාන උපදීය යි දැන ගැන්ම ය.

 

ලක්ඛණ නම් කර්‍මස්ථානයාගේ ලක්‍ෂණය. මේ කර්‍මස්ථානය මෙ බඳු ලක්‍ෂණ ඇත්තේය යි කර්‍මස්ථානයාගේ ස්වභාව දැනැ ගැන්ම ය යි සේ යි. (“ගණනාඅනුබන්‍ධනා ඵුසනා යන මොවුන්ගේ වශයෙන් භාවනා වඩා ඨපනාවට පැමිණීම ද එයින් මතුයෙහි දු සල්ලක්ඛණාදි වශයෙන් මස්තක ප්‍රාප්තිය ද යන කමටහන්හුගේ ස්වභාව සැලකීම ය” යනු සන්න යි.)

 

මෙසේ පඤ්ච සන්‍ධික කර්‍මස්ථානය උගන්නේ නම් තෙමේත් වෙහෙසට පත් නො වන්නේ ය. ආචාර්‍ය්‍යයන් ද වෙහෙසට පත් නො කරන්නේ ය. එ බැවින් ස්වල්පයක් කියවා ගෙනැ බොහෝ වේලා සජ්ඣායනා කොටැ පඤ්ච සන්‍ධික කර්‍මස්ථානය උගෙනැ ආචාර්‍ය්‍යයන් සමීපයෙහි හේ වෙනෙ තැනෙක හෝ යට කී ආකාර සෙනසුනෙක වෙසෙමින් කුඩා පළිබෝධ ද දුරු කොටැ පියා දහවල් බත් කිස නිමවා භත්තමුර්ච්ඡාව ද දුරු කොටැ ගෙනැ තෙරුවන් ගුණ සැලකීමෙන් සිත සතුටු කොටැ ආචාර්‍ය්‍යයන් උගැන්වූ ක්‍ර‍මයෙන් එක පදයකුදු විස්මරණය නො කොටැ මේ ආනාපාණසති කර්‍මස්ථානය මෙනෙහි කළ යුතු. ඒ මෙනෙහි කරන ක්‍ර‍මය මෙසේ ය.

 

“ගණනා අනුබන්‍ධනා

ඵුසනා ඨපනා සල්ලක්ඛණා,

විවට්ටනා පාරිසුද්ධි

තෙසං ච පතිපස්සනා.”[307]

 

ගණනය, අනුබන්‍ධනය, ඵුසනය, ඨපනය, සල්ලක්ඛණය, විවට්ටනය, පාරිසුද්ධිය, පතිපස්සනය යන මේ අට මෙනෙහි කළ යුතු පිළිවෙළ යි.

 

ගණන නම් ගණන් කිරීම ය, අනුබන්‍ධන නම් සිහිය ආශ්වාස-ප්‍ර‍ශ්වාස අනුව පැවැත්වීම ය, ඵූසන නම් ස්පර්‍ශ කරන තැන ය, ඨපන නම් අර්පණා ය, සල්ලක්ඛණ නම් විදර්‍ශනා ය, විවට්ටන නම් මාර්‍ග ය, පාරිසුද්ධි නම් ඵල ය, පතිපස්සන නම් ප්‍ර‍ත්‍යවේක්‍ෂණ යි.

 

ගණන

ආදිකර්මිකයා විසින් පළමු කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස ගණන් කිරීමෙන් මේ කර්‍මස්ථානය මෙනෙහි කළ යුතු. ගණන් කරන කල්හි දු පසින් යට නො නැවැත්විය යුතු. දසයෙන් මතු නො ගෙනිය යුතු. එක, තුන, පහ යනාදි වශයෙන් අතර නොකැඩිය යුතු. පසින් යට නැවැත්තුව හොත් ඉඩ මඳ ගාලෙහි ගෙරිමුළ සේ සම්බාධ අවකාශයෙහි සිත කැලඹෙයි. දසයෙන් මතු ගෙනැ ගිය හොත් සිත ගණනෙහි ම බැඳෙයි. අතර කඩ කළහොත් කර්‍මස්ථානය මුදුන් පැමිණියේ දො හෝ නො පැමිණියේ දෝ හෝ යි සිත චංචල බවට පත් වෙයි. එ බැවින් එසේ දොස් නො වන පරිදි ගණන් කළ යුතු. ගණන් කරන කල පළමු කොටැ දන්‍ධ ගණනින් - වී මනින ගණනින් ගණන් කළ යුතු. වී මනින්නා වියෙන් කුරුණිය පුරා එ-ක-යි කියා මල්ලට දමයි. නැවැත කුරුණිය පුරවන අතර රොඩුවක් ඇත්නම් ඒ ඉවත දමමින් එකයි-එකයි කියයි. දෙකයි-දෙකයි යනාදි වශයෙන් කියන්නේත් එසේ ය. මේ යෝගියා විසිනුදු ආශ්වාස-ප්‍ර‍ශ්වාස අතුරෙන් යමක් වැටහුණේ නම් එය අරමුණු කොටැ ගෙනැ එකයි-එකයි, දෙකයි-දෙකයි තුනයි-තුනයි යනාදි වශයෙන් දසය දක්වා වැටෙන වැටෙන ආශ්වාස-ප්‍ර‍ශ්වාස අරමුණු කොටැ ගණන් කළ යුතු. එසේ ගණන් කරන කල්හි නික්මෙන්නා වූ ද ඇතුළු වන්නා වූ ද ආශ්වාස-ප්‍ර‍ශ්වාස ප්‍ර‍කට වෙයි. එසේ ප්‍ර‍කට වූ කල්හි ඔහු විසින් ඒ දන්‍ධ ගණන - වී මනින ගණන හැරැපියා ශීඝ්‍ර‍ ගණනින්-ගොපලු ගණනින් ගණන් කළ යුතු. දක්‍ෂ ගොපොල්ලා කැට ගල් ඔඩොක්කුවෙහි ලා ගෙනැ රැහැන් කෙවිටි ගෙනැ උදෑසනක් සේ ගාලට ගොස් කෙවිටෙන් ගවයන් පිට පහර දී නඟා පියා හිදිවර ටැම් මතුයෙහි හිඳැ දොරට එන නඑන ගවයා එකයි-දෙකයි යනාදීන් කැට ගල් දම දමා ගණන් කරයි. රෑ මුළුල්ලේ හකයෙහි දුක සේ උන් ගවයෝ නික් මැ එන්නෝ උනුන් ඇඟ ගටමින් වෙළෙවි වෙළෙවි වැ මුළු මුළු වැ නික්මෙති. ගොපල්ලා ද වෙළෙවි වෙළෙවි වැ තුනයි-හතරයි-පහයි යනාදි වශයෙන් ගණන් කරයි. එසේ ම මේ යෝගී ද පෙර සේ ගණන් කරත් ම ආශ්වාස-ප්‍ර‍ශ්වාස ප්‍ර‍කට වැ වහ වහා නැවත නැවත හැසිරෙයි. ඉක්බිති ඔහු විසින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස නැවත නැවත හැසිරේ ය යි දැනැ ඇතුළ පිට වදනා ආශ්වාස-ප්‍ර‍ශ්වාස නො ගෙනැ දොරට පත් පත් ආශ්වාස-ප්‍ර‍ශ්වාස ම ගෙනැ එකයි-දෙකයි-තුනයි-හතරයි-පහයි-හයයි-හතයි, එකයි-දෙකයි-තුනයි-හතරයි-පහයි-හයයි-හතයි-අටයි-නවයයි-දහයයි කියා වහා වහා ගණන් කළ යුතු. කර්‍මස්ථානය මෙසේ ගණන් පිළිබඳ වූ කල්හි ඒ ගණන් බලයෙන් ම සිත එකඟ බවට පත් වේ. සැඩ වතුරේ රිටේ බලයෙන් නැව රැඳවීම මෙනි. මෙසේ වහ වහා ගණන් කරත් ම කර්‍මස්ථානය අතර නැති වැ පවතින බව ඔහුට වැටහෙයි. එවිට ඔහු විසින් කර්‍මස්ථානය නිරන්තර ප්‍ර‍වෘත්තය යි දැනැ ඇතුළ පිට වදනා වාතය අරමුණු නො කොටැ පෙර සේ ම වහ වහා ගණන් කළ යුතු. ඉදින් ඇතුළට පිවිසෙන වාතය හා සමග සිත ද ඇතුළු කෙළේ නම් ඇතුළ වාතයෙන් පහරන ලද්දාක් මෙන් ද මෙන් ද මේද තෙලින් පිරුණාක් මෙන් ද වේ. පිටතට නික්මෙන වාතය හා සමග සිත බැහැර කෙළේ නම් බැහැර නොයෙක් අරමුණුවල සිත දිවෙන්නේ වේ. එසේ නො කොටැ ස්පර්‍ශ කරන ලද නාසිකා අග මැ සිහිය පිහිටුවා භාවනා කෙළේ නම් භාවනාව සමෘද්ධ වේ. “ඇතුළ පිට වදනා වාතය අරමුණු නො කොටැ පෙර සේ ම වහ වහා ගණන් කළ යුතු” යයි කීයේ මේ නිසා ය. මෙසේ මේ ගණන් කිරීම් කොතෙක් කල් කළ යුතු ද යම්තාක් කලෙකින් ගණන් කිරීම් නැති වැ ආශ්වාස-ප්‍ර‍ශ්වාසාරම්මණයෙහි සිහිය පිහිටා ද ඒ තාක් කල කළ යුතුය. මේ ගණන් කිරීම කළ යුත්තේ බැහැර අරමුණුවල දිවෙන විතර්‍කය නවත්වා සිහිය ආශ්වාස-ප්‍ර‍ශ්වාසරම්මණයෙහි ම පිහිටුවනු සඳහා ය. මෙසේ ගණන් කිරීම් වශයෙන් මෙනෙහි කොටැ ඉක්බිති අනුබන්‍ධන වශයෙන් මෙනෙහි කළ යුතු ය.

 

අනුබන්‍ධනය

අනුබන්‍ධන නම් ගණන් කිරීම නවත්වා සිහියෙන් නිතොර ආශ්වාස-ප්‍ර‍ශ්වාස අනු වැ යාම ය. ඒ අනුව වැ යාම ද ආශ්වාස-ප්‍ර‍ශ්වාසයන්ගේ ආදි-මධ්‍ය-අවශාන අනු වැ යාම් වශයෙන් නො කළ යුතු ය. පිටත නික්මෙන වාතයේ ආදිය නැබ ය. මධ්‍යය හෘදය ය. අවශානය නාසිකාව ය. ඇතුළුවන වාතයේ ආදිය නාසිකා අගය. මධ්‍යය හෘදය ය. අවශානය නැබය. ඒ අනු වැ ගියහොත් සිත වික්‍ෂේප වැ දරථ පිණිස ද චංචල පිණිස ද වේ.

 

කියන ලද මැ යි :- “අස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො අජ්ඣත්තං වික්ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තංපි සාරදධා ව හොන්ති, ඉඤ්ජිතා ච ඵන්‍දිතා ච. පස්සාසාදිමජ්ඣෙ පරියොසානං සතියා අනුගච්ඡතො බහිද්ධා වික්ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තංපි සාරද්ධා ච හොන්ති. ඉඤ්ජිතා ච ඵන්‍දිතා ච”[308] යි. එබැවින් අනුබන්‍ධනයෙන් මෙනෙහි කරන විට ආදි, මධ්‍ය, අවශාන වශයෙන් මෙනෙහි නො කළ යුතු. එසේ නම් කෙසේ මෙනෙහි කළ යුතු ද ඵුසන වශයෙන් ද ඨපන වශයෙන් ද මෙනෙහි කළ යුතු. ගණන වශයෙන් අනුබන්‍ධන වශයෙන් මෙනෙහි කරන්නා සේ ඵුසන වශයෙන් ඨපන වශයෙන් වෙන වෙන ම මෙනෙහි කිරීමෙක් නැති ආශ්වාස-ප්‍ර‍ශ්වාස ස්පර්‍ශ කළ තැන් ගණන් කරන විට ගණන වශයෙන් ද ඵූසන වශයෙන් ද මෙනෙහි කෙළේ වේ. එහි මැ ගණන් කිරීම් නවත්වා දමෘතියෙන් අනුබන්‍ධනය කරමින් අර්පණා වශයෙන් සිත ඨපනය කළ විට අනුබන්‍ධන වශයෙන් ද, ඵූපන වශයෙන් ද, ඨපන වශයෙන් ද, මෙනෙහි කෙළේ වෙයි. මේ අර්‍ථය පැහැදිලි කරනු සඳහා අටුවායෙහි පඞ්ගුල දොවාරික උපමා ද, පටිසම්භිදායෙහි කකවූපමාව ද දක්වන ලද්දේ ය.

 

පඞ්ගුලෝපමාව

ක්‍රීඩාකාමි මව්-පුත් දෙ දෙන හෝවිල්ලෙක නැඟැ සිටිති. පිළෙක් හෝවිල්ල පදවයි. හෝවිල්ල වරෙක ඔබ යයි වරෙක මොබ එයි. හේ හෝවිල්ල පදවා හෝවිල්ල බැඳි ටැම් මුල හිඳ ඔබ මොබ යන හෝවිලි පෝරුවේ දොකොණ හා මැද බලයි. ඔහුට එසේ බැලීම සඳහා විශේෂ උත්සාහයෙක් අවශ්‍ය නො වේ. අනායාසයෙන් ම සිද්ධවන බැවිනි එසේ ම මේ යෝගි ද සිහියෙන් උපනිබන්‍ධන ටැම් මුල හිඳැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස හෝවිල්ල මෙහෙයා ඒ නිමිත්ත ම ගෙනැ සිහියෙන් උන්නේ ක්‍ර‍මයෙන් නැඟෙන වැටෙන ආශ්වාස-ප්‍ර‍ශ්වාසයන්ගේ ආදි-මධ්‍ය-අවශානය ස්පර්‍ශය කළ තන්හි ම සිහිය පිහිටුවා බලයි. ඒ බැලීම සඳහා ඔහුට විශේෂ උත්සාහයෙක් නැත.

 

දෝවාරිකෝපමාව

දොරටුපාලයා නුවර ඇතුළ පිට සිටියවුන් වෙත ගොස් තෝ කවරෙක් ද කොයි සිට ආයෙහි ද, කොයි යන්නේහි ද, තා අත කිමෙක් දැ”යි පරීක්‍ෂා නො කරයි. එසේ පරීක්‍ෂා කිරීම ඔහුට අයත් නො වේ දොරටුව කරා පැමිණි පැමිණියෙන් ම පරීක්‍ෂා කිරීම ය ඔහුට අයත්. එසේ ම මේ යෝගිහට ද ඇතුළ වන් වාත ද බැහැර ගිය වාත ද අරමුණු කිරීම අයත් නො වේ. නාසිකාග්‍ර‍යට වන් වන් වාත අරමුණු කිරීම ම ය අයත්.

 

කකචොපමාව

කකචූපමාව උපමෙයයෙහි  පටන් මෙසේ දත යුතු. කීයේ මැ යි.

 

“නිමිත්තං අස්සාසපස්සාස - ආනාරම්මණමෙකචිත්තස්ස

අජානතො ච තයො ධම්මෙ - භාවනානූපලබ්භති.

නිමිත්තං අස්සාසපස්සාස - ආනාරම්මණමෙකචිත්තස්ස

අජානතො ච තයො ධම්මෙ - භාවනා උපලබ්භති”[309] යි.

 

‘උපනිබන්‍ධන නිමිත්ත සංඛ්‍යාත නාසිකාග්‍ර‍ය ද, ආශ්වාස ප්‍ර‍ශ්වාස ද එක සිතට අරමුණු නොවන්නේ ය. ඒ තුන අරමුණු කිරීම වශයෙන් නො දනුත් හොත් භාවනා සිද්ධ නො වන්නේ ය’ මේ චෝදනාව ය. පරිහාර මෙසේ ය.

 

උපනිබන්‍ධන සංඛ්‍යාත නාසිකාග්‍ර‍ය ද, ආශ්වාස-ප්‍ර‍ශ්වාස ද එක සිතකට අරමුණු නොවන්නේ ය. ඒ තුන අරමුනු කිරීම වශයෙන් දනුත් හොත් භාවනා සිද්ධ නො වන්නේ ය, මේ ගාථා අර්‍ථ යි. එම පැහැදිලි කරති.

 

කෙසේ මේ ධර්‍ම තුන එක් සිතකට අරමුණු නො වේ ද, කෙසේ අවිදිත නො වේ ද, කෙසේ සිත වික්‍ෂේප නො වේ ද, කෙසේ භාවනා නිෂ්පාදක වූ වීර්‍ය්‍යය පැනේ ද, කෙසේ භාවනානුයෝගය සිද්ධ වේ ද, කෙසේ ලෞකික ලෝකෝත්තර විශේෂයට පැමිණේ ද යන මේ ප්‍ර‍ශ්න කකචෝපමායෙන් ක්‍ර‍මයෙන් විසඳනු ලැබේ.

 

සම බිමෙක තුබූ රුක් කඳෙකි. වඩුවෙක් එය කියතින් ඉරන්නේ ය. ඉරන කල වඩුවාගේ සිහිය රඳා පවත්නේ කියත් දැති වදිනා තැන ය. ඔබ මොම යන කියත් දැති පිළිබඳ ඔහුගේ මෙනෙහි කිරීමෙක් නැත. එහෙත් ඔහුට ඒ යන-එන කියත් දැති පිළිබඳ දැනීම නැත්තේ නොවේ. හැම කියත් දැති ම එහි ස්පර්‍ශ කරමින් යන-එන බැවිනි. මෙසේ ඒ වඩුවාගේ රුක් කඳ ඉරීමේ වීර්‍ය්‍යය ද පෙනේ. කඳ ඉරීම් ක්‍රියාව ද සිද්ධ වේ. කඳ දෙකඩව යාම ද වෙයි.

 

සම බිම තුබූ රුක් කඳ මෙහි උපනිබන්‍ධන නිමිත්ත (උපනිබන්‍ධන නිමිත්ත නම් නැහැ අග හෝ මුඛ නිමිත්ත ය.) කියත් දැති මෙනි ආශ්වාස-ප්‍ර‍ශ්වාස ඉරන කල වඩුවාගේ සිහිය කියත් දැති වදිනා තැන රඳා පැවැත්ම මෙනි යෝගිහුගේ සිහිය නැහැ අග හෝ මුව නිමිත්තේ රඳා පැවැත්ම. ඔබ මොම යන කියත් දැති පිළිබඳ මෙනෙහි කිරීමක් නැත්තා මෙනි. ආශ්වාස-ප්‍ර‍ශ්වාස මෙනෙහි නොකිරීම. යන-එන හැම කියත් දැති පිළිබඳ දැනීම ඇත්තා මෙනි යන-එන හැම ආශ්වාස-ප්‍ර‍ශ්වාස පිළිබඳ දැනීම ඇති බව. රුක් කඳ ඉරීමේ වීර්‍ය්‍යය ඇති බව මෙනි කාය-චිත්ත කර්‍මණ්‍ය ඇති බව කඳ ඉරීම් ක්‍රියාව සිද්ධ වීම මෙනි යෝගිහුගේ උපක්ලේශ ප්‍ර‍හාණය හා විතර්‍ක ව්‍යපසම ය. කඳ දෙකඩ වැ යාම මෙනි සංයෝජන ප්‍ර‍හාණය හා අනුශය ව්‍යනතීභාවය.

 

මෙසේ බලත් උපනිබන්‍ධන - ආශ්වාස - ප්‍ර‍ශ්වාස යන ධර්‍ම තුන එක සිතට අරමුණු වන්නේ නො වේ. එහෙත් මේ ධර්‍ම තුන එක සිතින් නො දන්නේ ද නො වේ. සිත වික්‍ෂේපයට යන්නේ ද නො වේ. ප්‍ර‍ධාන සංඛ්‍යාත වීර්‍ය්‍ය ද පෙනෙයි. භාවනානුයෝගය ද සිද්ධ වේ. ලෞකික - ලෝකෝත්තර විශේෂයට ද පැමිණේ.

 

“ආනාපාණසතී යස්ස - පරිපුණ්ණා සුභාවිතා

අනුපුබ්බා පරිචිතා - යථා බුද්ධෙන දෙසිතා

සො ඉමං ලොකං පභාසෙති - අබ්භාමුත්තො‘ව චන්‍දිමා.”[310]

 

‘යමකු විසින් බුදුන් වදාළ පරිදි මේ ආනාපාණසතිය සම්පූර්‍ණයෙන් භාවනා කරන ලද්දේ ද, පිළිවෙළින් පුරුදු කරන ලද්දේ ද හේ මේ ගැබින් නිකුත් පුන්සඳ සේ මේ ලොව ආලෝක කරන්නේ ය.’

 

මේ ය කකචොපමාව. මෙයින් ගත යුත්තේ ආ-ගිය වශයෙන් ආශ්වාස-ප්‍ර‍ශ්වාස මෙනෙහි නො කිරීම පමණයි.

 

මෙසේ මේ කර්‍මස්ථානය මෙනෙහි කරත් ම කිසිවකුහට නොබෝ කලෙකින් ප්‍ර‍තිභාග නිමිත්ත උපදනේ ය. අවශේෂ විතර්‍කාදි ධ්‍යානඞ්ගයන්ගෙන් යුක්ත වූ අර්පණා සංඛ්‍යාත ඨපනාව ද සිද්ධ වන්නේ ය. විඩාපත් වූවකු ඇඳෙක හෝ පුටුවෙක හෝ හිඳිනා කල්හි ඇඳ හෝ පුටුව හෝ නැමෙ යි. ශබ්ද කෙරෙයි. ඇතිරිලි රැලි නැගෙයි. විඩාපත් නුවූවකු හිඳිනා කල්හි එසේ නො නැමෙයි. ශබ්ද නො කෙරෙයි. ඇතිරිලි රැලි නො ගැසෙයි. පුළුන් පිරූ සේ ඇඳ පුටු නිශ්චල වැ තිබෙයි. එමෙන් කිසිවකුහට ගණන වශයෙන් මෙනෙහි කරන කාලයෙහි පටන් ඖදාරික ආශ්වාස-ප්‍ර‍ශ්වාස නිරුද්ධවීම් වශයෙන් කාය දරථ සන්සිඳෙයි. එසේ සන්සුන් කල්හි කය ද සිත ද සැහැල්ලු වෙයි. ශරීරය අහසෙහි නැඟී යන ආකාරයට පැමිණෙයි. ඔහුගේ ඖදාරික ආශ්වාස-ප්‍ර‍ශ්වාස නිරුද්ධ කල්හි සිත සූක්‍ෂම වූ ආශ්වාස-ප්‍ර‍ශ්වාස නිමිත්ත අරමුණු කොටැ පවතියි. එ ද නිරුද්ධ කල්හි මතු මතු එයට ද වඩා සියුම් වූ පසු එයට ද වඩා අතිශයයෙන් සියුම් වූ ආශ්වාස-ප්‍ර‍ශ්වාස අරමුණු කොටැ පවතියි. ලොහො හිරටුයෙකින් කස්තලට ගැසූ කල එකවරින් ම සිත මහත් ශබ්දය අරමුණු කොටැ පවතියි. ඒ නිරුද්ධ කල්හි ක්‍ර‍මයෙන් සියුම්-සියුම් ශබ්දය අරමුණු කොටැ පවතියි. මේත් එ බඳු ය යි දත යුතුයි.

 

අන්‍ය කර්‍මස්ථාන වඩත් - වඩත් මතු - මතු විභූත වේ. මේ වනාහි එසේ නොවේ. මේ වඩත් වඩත් ක්‍ර‍මයෙන් සියුම් වේ. අන්තිමයේ දී ආශ්වාස-ප්‍ර‍ශ්වාස ඇතැ යි යන වැටහීම ද නැති වේ. එසේ වූ කල්හි ඒ යෝගී හුනස්නෙන් නැඟී සම්කඩ ගසා දමා ගෙනැ නො යා යුතු. කුම් කළ යුතු ද, ‘ආචාර්‍ය්‍යයන් විචාරමි’ යි හෝ ‘මගේ කර්‍මස්ථානය නැති විණි’යි සිතා හෝ හුන් තැනින් නො නැඟිය යුතු. ඉරියව් වෙනස් කළහොත් කර්‍මස්ථානය අළුත් අළුත්ම වේ. එ බැවින් හුන් තැනැ ම හිඳැ ගෙනැ පියොවින් පවත්නා දෙය වශයෙන් කර්‍මස්ථානය ඇති බව සිතට එළවා ගත යුතු. (“පූර්‍වයෙන් තමා ඵුසන විසින් සලකන ලද තැන් එළවිය යුතු ය යන අර්‍ථ යි) කර්‍මස්ථානය ඇති බව සිතට එළවා ගන්නා ආකාරය මෙසේ ය. කර්‍මස්ථානය හෙවත් ආශ්වාස-ප්‍ර‍ශ්වාස නො වැටහෙන බව දැනුණු ඒ යෝගී විසින් මේ ආශ්වාස-ප්‍ර‍ශ්වාස ඇත්තේ කොහි ද නැත්තේ කොහි ද ඇත්තේ කාහට ද නැත්තේ කාහට දැයි සැලකිය යුතු ය. එසේ සලකන්නහු විසින් මේ ආශ්වාස-ප්‍ර‍ශ්වාස මව් කුස වසන්නවුන්ට ද දියෙහි ගිලුනුවුන්ට ද, අසංඥීතල වැසියන්ට ද, මළවුන්ට ද, චතුර්‍ථධ්‍යානයට සමවැදුණුවුන්ට ද, රූපි රූප භවසමඞ්ගීන්ට ද, නිරොධසමාපත්තියට සමවැදුනුවුන්ට ද නැත්තේ ය යි දත යුතු ය. එසේ දැනැ තමා ම තමා පිළිවිසිය යුතු. ‘පණ්ඩිතය, තෝ කිම දැන් මව් කුස වසන්නෙහි ද, නැත. දියෙහි ගිලුණෙහි ද, නැත. අසංඥියෙහි ද, නැත. මෙළෙහි ද, නැත. චතුර්‍ථධ්‍යානයට සමවැදුණෙහි ද, නැත. රූපා-රූපභව සමඞ්ගියෙහි ද, නැත. නිරොධ සමාපත්තියට සමවැදුණෙහි ද, නැත. එසේ නම් තට ආශ්වාස-ප්‍ර‍ශ්වාස තිබිය යුතුම ය. නුවණ මඳ බැවින් තට ඇත්තා වූම එය දැනැ ගත නො හැකිය’යි මෙසේ දැනැ ඔහු විසින් පියොවින් පහස්නා තැන වශයෙන් සිත පිහිටුවා මෙනෙහි කළ යුතු ය. මේ ආශ්වාස-ප්‍ර‍ශ්වාස දික් නැහැ ඇත්තවුන්ට නාස් පුටයෙහි ගැටී පවතී. කොට නැහැ ඇත්තවුන්ට උඩු තොල ගැටී පවතී. එ බැවින් ඔහු විසින් මේ නැහැ ගැටෙමින් පවතී ය යි නිමිති එළවිය යුතු යි. “නාහං භික්ඛවෙ මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපාණ සතිභාවනං වදාමි”[311] = ‘මහණෙනි! මම නුවණ නැති මුළා සිහි ඇත්තහුට ආනාපාණසතිය නො කියමි’යි බුදුහු වදාළේ මේ අවස්ථාව ගෙනැ ය. කවර කමටහනක් හෝ සම්පාදනය වන්නේ සිහි නුවණ ඇත්තහුට ම ය. මේ හැරැ සෙසු කමටහන් මෙනෙහි කරත්-කරත් ප්‍ර‍කට වන්නේ ය. මේ ආනාපාණය ගරු ය. භාවනාව ද ගරු ය. බුදු-පසේබුදු- බුදු පුත් වූ මහාසත්ත්‍වයන්ට ම මෙනෙහි කිරීමට තැන් ය. මේ ලාමක නො වේ. ලාමකයන් විසින් සෙවුනා ලද්දේ ද නො වේ. මෙනෙහි කළ-කළ තරමින් ශාන්ත වේ. සියුම් වේ. එ බැවින් මෙහි ලා බලවත් වූ ම සිහි නුවණ තිබිය යුතු ය. පට සළු හිදියම් කරන කල සියුම් වූ ම හිදි තිබිය යුතු ය. හිදි විදිනා කටුව එයට ද වඩා සියුම් විය යුතු ය. පටසළුවක් වැනි වූ මේ කමටහන භාවනා කරන කල හිඳි විය යුතු ය. එ බඳු සිහි නුවණින් යුක්ත යෝගී ඒ ආශ්වාස-ප්‍ර‍ශ්වාස පියොවින් පහස්නා තැන විනා අන් තැනෙක නො සෙවිය යුතු ය. සී සානා ගොවි සී සාලා ගොනුන් මුදාපියා ගොදුරට යවා තෙමේ සිහිල් සෙවණේ හිඳැ විශ්‍රාම කරන්නේ ය. ගොන්නු වේගයෙන් ගොස් කැලේ වදිති. ගොවියා නුවණැත්තෙක් නම් උන් නැවත සී සෑමෙහි යොදවනු කැමැති වැ උන්ගේ පියවර පසු ගොස් කැලේ නෑවිදිති. රැහැන් කෙවිටි ගෙනැ කෙළින් ම උන් පැන් බොන තොටට ගොස් එහි හිඳියි. ගොන්නු දහවල් ගොදුරු කා සවස් වන්නා ම පැන් තොටට ගොස් පැන් නා බී ගොඩ නැඟී සිටිති. ගොවි එසේ උන්, උන් දැකැ රැහැනින් බැඳැ කෙවිටින් අණිමින් ගෙනවුත් යළි සී සෑමෙහි යොදව යි. මේ යෝගී භික්‍ෂු විසින් ද පියොවින් පහස්නා තැනැ මිස අන්තැනෙක ආශ්වාස-ප්‍ර‍ශ්වාස නො සෙවිය යුතු. සී රැහැන ද නුවණ කෙවිට ද ගෙනැ පියොවින් පහස්නා තැන ම සිත එළවා මනස්කාරය පැවැත්විය යුතු. එසේ මනස්කාර පවත්වත් ම පැන් තොට ගවයන් මෙන් ආශ්වාස-ප්‍ර‍ශ්වාස නො බෝ කලෙකින් ලැබෙයි. එ විට සී රැහැනින් බැඳැ එහි ම යොදා නුවණ කෙවිටින් විදිමින් පුන පුනා කර්‍මස්ථානයෙහි යෙදිය යුතු. එ සේ යෙදෙන්නා ම නොබෝ කලෙකින් උද්ග්‍ර‍හනිමිති පටිභාග නිමිති වැටහෙන්නේ ය. නිමිති වනාහි සියල්ලවුන්ට ම එක සමාන වැ වැටහෙන්නේ නො වේ. ‘කිසිවකුහට සුව පහස් උපදවමින් හිඹුල් පුලුන් පෙඳ සේ ද, කපු පුළුන් පෙඳ සේ ද, වාතධාරා සේ ද වැටහේ’ යනු සමහර ආචාර්‍ය්‍යවරයන්ගේ මතය. අටුවායෙහි ආ විනිශ්චය මෙසේ ය. කිසිවකුහට මේ නිමිති තරු රූ සේ ද, මිණි ගුලි සේ ද, මුතු ගුළි සේ ද වැටහෙයි. කිසිවකුහට රළ පහස් ඇති වැ කපු ඇට සේ ද, දඬුහර හිදි සේ ද වැටහෙයි. කිසිවකුහට දික් හවඩි හූ සේ ද, මල්දම් සේ ද, දුම්සිලු සේ ද වැටහෙයි. කිසිවකුහට පළල් මකුළු හූ සේ ද, වලා පටල සේ ද, නෙළුම් මල් සේ ද, රිය සක් සේ ද, සඳ මඬුලු - හිරු මඬුලු සේ ද වැටහෙයි.

 

කුමක් හෙයින් එසේ නානා විධ වැ වැටහේ ද යත් :- සංඥා නානාත්‍වයෙන් එසේ නානාවිධ වැ වැටහෙයි. භික්‍ෂුහු කීප දෙනෙක් එක් තැන් වැ සූත්‍රාන්තයක් හදාරා හිඳිති. ඔවුන් අතුරෙන් එක් නමෙක් ‘මේ තොපට කෙබඳු වැ වැටහුණේ දැ යි’ විචාරයි. ‘පර්‍වතයෙකින් ගලා බස්නා මහත් ගඟක් මෙන් මට වැටහුණේ ය’ යි හේ කියයි. අනෙකක් ‘මට එය වනරාජියක් මෙන් වැටහුණේ ය’යි ද අනෙකෙක් ‘සිහිල් සෙවණ ඇති අතුපතරින් රැඳි පලබරින් නැමුණු තුරක් මෙන් වැටහුණේ ය’යි ද කියයි. එක ම සූත්‍රාන්තය ඔවුනොවුන්ට තමන්ගේ ප්‍ර‍ඥානානාත්‍වයෙන් නානාවිධ වැ වැටහෙයි. එ පරිද්දෙන් එක ම කර්‍මස්ථානය ඔවුනොවුන් ගේ සංඥා නානාත්‍වයෙන් නානාවිධ වැ වැටහෙයි. මේ නිමිත්ත සංඥායෙන් උපදින්නේ ය. එය සංඥාව නිමිති කොටැ ඇත්තේ ය. සංඥාව ම ප්‍ර‍භව කොට ඇත්තේ ය. මෙසේ සංඥා නානාත්‍වයෙන් නානාවිධ වැ වැටහේ යයි දත යුතු.

 

මෙහි වනාහි ආශ්වාස අරමුණු කොටැ සිත අනෙකෙකි. ප්‍ර‍ශ්වාස අරමුණු කොට ඇති සිත අනෙකෙකි. නිමිත්ත අරමුණු කොට ඇති සිත අනෙකෙකි. මේ ධර්‍ම තුන නැත්තහුගේ කර්‍මස්ථානය අර්‍පණොපචාරයන්ට නො පැමිණේ. ඇත්තහුගේ ම අර්‍පණොපචාරයට පැමිණේ. කීයේ මැ යි :-

 

“නිමිත්තං අස්සාසපස්සාසා - අනාරම්මණමෙකචිත්තස්ස

අජානතො ව තයො ධම්මෙ - භාවනා නූපලබ්භති

“නිමිත්තං අස්සාසපස්සාසා - අනාරම්මණමෙක චිත්තස්ස

ජානතො ව තයො ධම්මෙ - භාවනා උපලබ්භති”[312] යි.

 

අර්‍ථ යට කියන ලද මැයි.

 

මෙසේ නිමිති ලත් යෝගී විසින් ආචාර්‍ය්‍යයන් කරා එළඹැ “මට මෙ බඳු නිමිත්තයෙක් පෙනේ”ය යි කිය යුතු. ආචාර්‍ය්‍යයන් විසින් ද, මේ නිමිත්ත යයි කියා හෝ නො නිමිත්තය”යි කියා හෝ නො කියා “ඇවැත්නි! එ බන්දෙක් වන්නේ ය”යි කියා ‘නැවත නැවත මෙනෙහි කරව”යි කිය යුතු. නිමිත්තය යි කීයේ නම් එයින් ම අවසානයට පැමිණෙන්නේ ය. (“උපදනුවට දුෂ්කර වූ නිමිත්ත ලබන ලද. එ බැවින් යම් යම් කලෙක විශේෂය උපදවමි යි සංකෝචයට පැමිණේ”) නිමිත්ත නො වේ ය යි කීයේ නම් එයින් ම ආසා කඩ වැ පසු බැසීමට පැමිණෙන්නේ ය. (“මෙ තෙක් කල් භාවනායෙහි යෙදෙනුවහට නිමිති පමණෙක් පවා නො උපන. විශේෂ ලාභයට අභව්‍ය වෙමි යි විෂාදයට පැමිණේ”) මේ දීඝභාණකයන්ගේ මතය යි. මධ්‍යම භාණකයෝ “ඇවැත්නි! මේ නිමිත්ත යි. කමටහන පුන පුනා මෙනෙහි කරව යි කිය යුතුය”යි කියති. මෙ විට ඔහු විසින් නිමිත්තයෙහි ම සිත පිහිටවිය යුතු. මෙ තැන් පටන් ඔහුට අනුබන්‍ධන වශයෙන් ඵුසන වශයෙන් මනස්කාරය හැරැ පියා ඨපන වශයෙන් භාවනාව වන්නේය. කීයේ මැ යි පෞරාණිකයන් විසින් :-

 

“නිමිතෙත ඨපය චිත්තං - නානාකාරං විභාවයං

ධීරො අස්සාසපස්සාසො - සකං චිත්තං නිබන්‍ධති”[313] යි.

 

‘ප්‍ර‍තිභාග නිමිත්තයෙහි සිත පිහිටුවමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාසයෙහි නානාකාරය විභාවනා කරමින් නුවණැත්තේ ස්වකීය චිත්තය අර්පණාවට පමුණුවන්නේ ය, යනු එහි අර්‍ථ යි. මෙ සේ ද අර්‍ථ දිය හැකි ය.

 

‘නුවණැති යෝගී ආශ්වාස - ප්‍ර‍ශ්වාස නානාප්‍ර‍කාරයෙන් ප්‍ර‍කට කරමින් හෙවත් ඖදාරික සන්සිඳුවමින් එහි ලත් ප්‍ර‍තිභාග නිමිත්තෙහි සිත පිහිටුවමින් සිය සිත ක්‍ර‍මයෙන් අර්පණාවට පමුණුවන්නේ ය.’

 

මෙසේ ප්‍ර‍තිභාග නිමිති ලත් තැන් පටන් ඔහුගේ නීවරණ විෂ්කම්භිත වන්නේ ය. ක්ලේශ සන්සිඳෙන්නේ ය. සිහියට එළඹ සිටින්නේ ය. සිත උපචාර සමාධියෙන් සමාහිත වන්නේ ය. එවිට ඔහු විසින් ඒ නිමිත්ත වර්‍ණ වශයෙන් මෙනෙහි නො කට යුතු ය. ලක්‍ෂණ වශයෙන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කට යුතු ය. ක්‍ෂත්‍රිය මභිෂියක් සක්විති දරු ගැබ සේ ද, ගොවියකු හැල්-යව ගැබ සේ ද ආවාසාදි සත් අසප්පාය දුරු කොට එම ආවාසාදි සත් සප්පාය සෙව්මින් සකසා රැක්ක යුතු ය. එසේ රැක නැවත නැවත මෙනෙහි කිරීම් වශයෙන් වඩා දශවිධ අර්පණා කෞශල්‍යය සැපයිය යුතු. වීර්‍ය්‍ය සමත්‍වය යෙදිය යුතු. එසේ උත්සාහ කරත් ම යට පඨවි කසිණයෙහි කීසේ එම නිමිති කොටැ චතුෂ්ක-පඤ්චක ධ්‍යාන උපදින්නේ ය.

 

චතුෂ්ක-පඤ්චක ධ්‍යාන උපදවා ගත් යෝගී සල්ලක්ඛණ, විවට්ටන වශයෙන් කමටහන් වඩා පාරිශුද්ධියට පැමිණියැටියේ නම් ඒ ධ්‍යානය ම පඤ්ච වශිතායෙන් වශප්‍රාප්ත කොටැ ගෙනැ නාම-රූප ව්‍යවස්ථා කොටැ විදර්‍ශනා වඩන්නේ ය.

 

කෙසේද යත් :- හේ සමවතින් නැඟී ආශ්වාස-ප්‍ර‍ශ්වාසයන්ගේ සමුදාය කරජකය හා සිතය යි දැනැ ගන්නේ ය. කඹුරු හම සුළ ගන්වන කල්හි සම ද, පුරුෂෝත්සාහය ද නිසා වාතය පවත්නා සේ කය හා සිත නිසා ආශ්වාස-ප්‍ර‍ශ්වාස පවත්නේය යි දත යුතු. ඉක්බිති ආශ්වාස-ප්‍ර‍ශ්වාස හා කය රූපය යි ද, සිත හා තත්සම්ප්‍ර‍යුක්ත ධර්‍ම අරූපය යි ද ව්‍යවස්ථා කරන්නේ ය. මේ මෙහි සංක්‍ෂේපය යි. (විස්තර මතු දිට්ඨිවිසුද්ධි නිර්‍දෙශයෙහි බලනු.) එසේ නාම - රූප ව්‍යවස්ථා කොටැ ඒ නාමරූපයන්ගේ ප්‍ර‍ත්‍යය සොයන්නේ ය. සොයා ඒ ප්‍ර‍ත්‍යය දැනැ තුන් කල්හි ඒ පිළිබඳ පැවැත්මේ සැකය දුරු කරන්නේ යැ. එසේ සැක දුරු කොටැ කලාප සම්මර්‍ශන වශයෙන් තිලකුණු නඟා උදයබ්බයානු පසස්නාවට පූර්‍වභාගයෙහි උපන් ඔභාසාදි දශ විදර්‍ශනෝපක්ලේශයන් දුරු කොටැ උපක්ලේශයෙන් මිදුණු පටිසම්භිදා මාර්‍ගඥානය මාර්‍ගය යි. ව්‍යවස්ථා කොටැ උදය හැරැ පියා භඞ්ගානුපස්සනාවට පැමිණැ නිරතුරු භඞ්ගානුපස්සනායෙන් භය වශයෙන් වැටහී ගිය සියලු සංස්කාරයෙන් කෙරෙහි නිර්‍වෙදයට පැමිණැ එයින් විරාගයට පැමිණැ කෙලෙසුන් කෙරෙන් මිදෙන්නේ පිළිවෙළින් සෝවාන් ආදි සතරමාර්‍ග-ඵලයන්ට පැමිණැ අර්‍හත් ඵලයෙහි සිටැ එකුන්විසි ප්‍ර‍ත්‍යවේක්‍ෂා ඥානයන්ගේ පර්‍ය්‍යයන්ත ගත වැ සදේවක ලෝකයෙහි අග්‍ර‍ දක්‍ෂිණාර්‍භ වන්නේය.

 

මෙතෙකින් ගණනා ආදි කොටැ ඇති පතිපස්සනා අවසන් කොටැ ඇති ආනාපාණසතිසමාධි භාවනා නිමියේ ය.

 

ප්‍ර‍ථම චතුෂ්ක වර්‍ණනාව යි.

 

සෙසු චතුෂ්කත්‍රිකයෙහි වෙන් වෙන් වශයෙන් කිය යුතු කර්‍මස්ථාන භාවනා ක්‍ර‍මයෙක් නැති. ප්‍ර‍ථම චතුෂ්ක වශයෙන් ලැබැ ගත් ධ්‍යාන ඇතියහට වෙදනා-චිත්ත-ධම්මානුපස්සනා වශයෙන් එය ලැබෙන බැවිනි. එ බැවින් ඔවුන් පිළිබඳ අනුපද වර්‍ණනාමාත්‍රයෙක් මෙහි දක්වනු ලැබේ.

 

ද්විතීය චතුෂ්කය.

1.  “පීතිපටිසංවෙදි අසස්සිස්සාමීති සික්ඛති

පීතිපටිසංවෙදි පස්සසිස්සාමීති සික්ඛති

2.  සුඛපටිසංවෙදි අස්සසිස්සාමීති සික්ඛති

සුඛපටිසංවෙදි පස්සසිස්සාමීති සික්ඛති

3.  චිත්තසඞ්ඛාරපටිසංවෙදි අස්සසිස්සාමීති සික්ඛති

චිත්තසඞ්ඛාරපටිසංවෙදි පස්සසිස්සාමීති සික්ඛති

4.  පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති

පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති

 

1. ප්‍රීතිය දනිමින් - ප්‍ර‍කට කැරැ ගනිමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. එහි ප්‍රීතිය ප්‍ර‍කට කැරැ ගැනීම ආරම්මණ වශයෙන් ද, අසම්මෝහ වශයෙන් ද යන දෙ ආකාරයෙකින් සිද්ධ වේ. ආරම්මණ වශයෙන් ප්‍රීතිය ප්‍ර‍කට කැරැ ගන්නේ මෙසේ ය. යමෙක් ප්‍රීති සහගත ධ්‍යාන ද්වයට හෙවත් ප්‍ර‍ථම-ද්විතීය ධ්‍යානයන්ට සමවදී ද, හේ සමාපත්ති ක්‍ෂණයෙහි ධ්‍යාන ලැබීමෙන් ආරම්මණ වශයෙන් ප්‍රීතිය දන්නේ - ප්‍ර‍කට කැරැ ගන්නේ වේ. ආරම්මණය ප්‍රීති පටිසංවිදිත බැවිනි. (“යම් සේ සර්‍ප පර්යෙෂණ කරන්නහු විසින් ඒ සර්‍පයා වසන තුඹස දුටු කල්හි සර්‍ප දක්නා ලද ම නම් වේ ද, ගෘහිත නම් වේ ද, මන්ත්‍රාගද බලයෙන් ගන්නට පිළිවන් වන්නේ ද, එසේ ම ප්‍රීතියට ආසන්න වූ ආලම්බනය දත් කල්හි ප්‍රීතිය ද දන්නා ලද ම නම් වේ. ස්වලක්‍ෂණ සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන් ප්‍රීතිය ගන්නට සුව බැවිනි” යනු සන්න යි.)

 

අසම්මෝහ වශයෙන් ප්‍රීතිය දන්නේ - ප්‍ර‍කට කැරැ ගන්නේ මෙසේ ය:- ප්‍රීතිසහගත ධ්‍යාන ද්වයයට හෙවත් ප්‍ර‍ථම ද්විතීය ධ්‍යානයන්ට සමවැදැ එයින් නැඟී ධ්‍යාන සම්ප්‍ර‍යුක්ත ප්‍රීතිය ක්‍ෂය-ව්‍යය වශයෙන් සම්මර්‍ශනය කෙරේ ද, එ විට විදර්‍ශනා ක්‍ෂණයෙහි ලක්‍ෂණ ප්‍ර‍තිවේධයෙන් අසම්මෝහ වශයෙන් ප්‍රීතිය දන්නේ - ප්‍ර‍කට කැරැ ගන්නේ වේ.

 

කියන ලද මැ යි:-

පටිසම්භිදායෙහි -

“දීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සා පීති පටිසංවිදිතා හොති. දීඝං පස්සාසවසෙන -පෙ- රස්ස අස්සාසපස්සාසවසෙන සබ්බකායපටිසංවෙදි අස්සාසපස්සාසවසෙන පස්සම්භයං කායසඞ්ඛාරං අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සා පීති පටිසංවිදිතා හොති. ආවජ්ජනාතො සා පීති පටිසංවිදිතා හොති. ජානතො, පස්සතො, පච්චවෙක්ඛතො, චිත්තං අධිට්ඨාතො, සද්ධාය අධිමුචචතො, විරියං පග්ගණභතො, සති උපට්ඨාපයතො, චිත්තං සමාදහතො, පඤ්ඤාය පජානතො, අභිඤ්ඤය්‍යාං පරිඤ්ඤෙය්‍යං පභාතබ්බං භාවෙතබ්බං සච්ඡිකාතබ්බං සච්ඡිකරොතො, සා පීති පටිසංවිදිතා හොති. එවං සා පීති පටිසංවිදිතා හොති[314] යි.

 

‘දීර්‍ඝ කොටැ ආශ්වාස කිරීම් වශයෙන්, ප්‍ර‍ශ්වාස කිරීම් වශයෙන්, ආශ්වාස-ප්‍ර‍ශ්වාස කිරීම් වශයෙන්; භ්‍ර‍ස්ව කොටැ, සබ්බකාය පටිසංවෙදී වැ, කාය සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කිරීම් වශයෙන්, ප්‍ර‍ශ්වාස කිරීම් වශයෙන්, ආශ්වාස-ප්‍ර‍ශ්වාස කිරීම් වශයෙන් චිතේතකාග්‍ර‍තා සංඛ්‍යාත අවික්‍ෂෙපය දක්නාහට සිහිය එළඹ සිටියේ වෙයි. ඒ සිහියෙන් ඒ ඥානයෙන් ප්‍රීතිය ප්‍ර‍කට කොටැ දන්නේ වෙයි. ආවර්‍ජනය කරන්නාහට, විදර්‍ශනාඥානයෙන් තිලකුණු ආරෝපණය කොටැ දන්නාහට, දක්නාහට, ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නාහට ප්‍රීතියෙහි විදර්‍ශනා චිත්තය පිහිටුවන්නාහට, ශ්‍ර‍ද්ධායෙන් අදහන්නාහට, වීර්‍ය්‍යය හුවන්නාහට, සිහිය එළවන්නාහට, සිත එකඟකරන්නාහට, විදර්‍ශනා ඥානයෙන් මනාව දක්නාහට අභිඥෙය-පරිඥෙය-ප්‍ර‍භාතව්‍ය-භාවිතව්‍ය-සාක්‍ෂාත් කරණිය, සාක්‍ෂාත් කරන්නාහට සිහිය එළඹ සිටියේ වෙයි. ඒ සිහියෙන් ඒ ඥානයෙන් ඒ ප්‍රීතිය ප්‍ර‍කට කොට දන්නේ වෙයි. මෙසේ ඒ යෝගී ප්‍රීතිය ප්‍ර‍කට කොටැ දන්නේ නම් වෙයි’ යනු එහි සංක්‍ෂිප්ත අර්‍ථ යි.

 

මේ ක්‍ර‍මයෙන් සෙස්ස ද අර්‍ථ වශයෙන් දත යුතු යි. විශේෂ පමණක් මතු දක්වනු ලැබේ.

 

2-3 ප්‍ර‍ථම-ද්විතීය-තෘතීය ධ්‍යානයන්ගේ වශයෙන් සුඛපටිසංවෙදි බව ද, චතුර් ධ්‍යානයන්ගේ වශයෙන් චිත්ත සංඛාර පටිසංවෙදි බව ද දත යුතු. මෙහි චිත්තසංඛාර නම් වෙදනා ස්කන්‍ධය හා සංඥාස්කන්‍ධයි. පටිසම්භිදායෙහි වනාහි සුඛ පටිසංවෙද යන පදයෙහි විදර්‍ශනා භූමි දක්වනු සඳහා “සුඛං ති ද්‍වෙ සුඛානි කායිකං ච සුඛං චෙතසිකං ච”[315] යි වදාළේ යි.

 

4. “පස්සම්භයං චිත්තසඞ්ඛාරාං” ඖදාරික ඖදාරික චිත්ත-සංස්කාර සංසිඳුවන්නේ නිරුද්ධ කරන්නේ යනු අර්‍ථ යි. එහි විස්තර යට සංස්කාරයෙහි කී පරිදි දත යුතු.

 

තවද මේ චතුෂ්කයෙහි “පීතිපටිසංවෙදි” යන පදයෙහි ප්‍රීති ශීර්‍ෂයෙන් වේදනාව කියන ලද්දේ ය. “සුඛපටිසංවෙදි” යන පදයෙහි ස්වරූපයෙන් ම වේදනාව කියන ලද්දේ ය. සෙසු චිත්තසංඛාර දෙ පදයෙහි “සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා එතෙ ධම්මා චිත්තපටිබද්ධා චිත්තසඞ්ඛාරා” යි කී හෙයින් සංඥා සම්ප්‍ර‍යුක්ත වූ වේදනාව කියන ලද්දේ ය. මෙසේ වේදනානු පස්සනා වශයෙන් මේ චතුෂ්කය වදාළ බැව් දත යුතු යි.

 

තෘතීය චතුෂ්කය

 

1.  චිත්තපටිසංවෙදි         අස්සසිස්සාමීති   සික්ඛති

”          පස්සසිස්සාමීති  ”

2.  අභිප්පමොදයං චිත්තං   අස්සසිස්සාමීති   සික්ඛති

”          පස්සසිස්සාමීති  ”

3.  සමාදහං චිත්තං         අස්සසිස්සාමීති   සික්ඛති

”       පස්සසිස්සාමීති  ”

4.  විමොචයං චිත්තං       අස්සසිස්සාමීති   සික්ඛති

”          පස්සසිස්සාමීති  ”

 

1. මෙහි චිත්තපටිසංවේදිතාව හෙවත් සිත මොනවට දන්නා බව සතර වැදෑරුම් ධ්‍යාන සිත් වශයෙන් දත යුතු.

 

2. සිත අභිප්‍රමෝද කරමින් හෙවත් ධ්‍යාන සම්ප්‍ර‍යුක්ත චිත්තය තත් සම්ප්‍ර‍යුක්ත ප්‍රීති සමේබාධ්‍යාඞ්ග වූ ධ්‍යාන ප්‍රීතියෙන් සතුටු කරමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මෙහි අභිප්‍රමෝද කිරීම සමාධි වශයෙන් ද, විදර්‍ශනා වශයෙන් ද යන දෙ ආකාරයෙකින් වේ. ප්‍රීතිසහගත ධ්‍යානද්වයට සමවැද ඒ සමවන් ඇසිල්ලෙහි තත් සම්ප්‍ර‍යුක්ත ප්‍රීතියෙන් සිත සතුටු කරන්නේ ධ්‍යාන වශයෙන් සිත අභිප්‍රමෝද කරන්නේ වේ. ප්‍රීතිසහගත ධ්‍යානද්වයට සමවැද එයින් නැඟී ධ්‍යාන සම්ප්‍ර‍යුක්ත ප්‍රීතිය ක්‍ෂය-ව්‍යය වශයෙන් සම්මර්‍ශනය කරන්නේ විදර්‍ශනා වශයෙන් චිත්තය අභිප්‍රමෝදය කරන්නේ වේ. මෙසේ දෙ ආකාරයෙන් සිත අභිප්‍රමෝදය කරමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරමියි හික්මෙන්නේය යි කී සේ ය.

 

3. ප්‍ර‍ථම ධ්‍යානාදි වශයෙන් සිත අරමුණෙහි සම කොටැ පිහිටුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මේ සමාධි වශයෙනි. (යම් සේ මඳකුදු ලීන පක්‍ෂයට - ඖධත්‍ය පක්‍ෂයට නො ගොස් අවනත උන්නත නො වැ ඉන්‍ද්‍රියයන්ගේ සමත්‍වයට පැමිණීමෙන් විසම නො වේ ද, එසේ සම කොටැ තබන්නේ, සමාධිහුගේ හෝ උත්කර්‍ෂයට යාමෙන් අචල බවට පැමිණි හෙයින් මනා කොට සිටියේ ද, එසේ අර්පනා වශයෙන් තබන්නේ යන අර්‍ථ යි” යනු සන්නයි) නොහොත් ප්‍ර‍ථම ධ්‍යානාදියට සමවැද එයින් නැඟී ධ්‍යාන සම්ප්‍ර‍යුධ්ත චිත්තය ක්‍ෂය ව්‍යය වශයෙන් බලත් ම විදර්‍ශනා ක්‍ෂණයෙහි අනිත්‍යාදි ලක්‍ෂණ ප්‍ර‍තිවේධ වශයෙන් සම ක්‍ෂණික චිත්තකාග්‍ර‍තාවෙක් උපදී ද ඒ වශයෙන් සිත අරමුණෙහි සම කොටැ පිහිටුවමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මේ විදර්‍ශනා වශයෙනි. (ක්‍ෂණික සමාධිය ද අරමුණෙහි නිරන්තරයෙන් ඒකාකාරයෙන් පවත්නේ ප්‍ර‍තිපක්‍ෂයන් විසින් අනභිභූත බැවින් අර්පිතයක්හු මෙන් සිත්හු නිශ්චල කොටැ සිටුවා” යනු සන්නයි.)

 

4. ප්‍ර‍ථම ධ්‍යානයෙන් නීවරණ කෙරෙන් සිත මුදමින්, ද්විතීය ධ්‍යානයෙන් විතර්‍ක-විචාර කෙරෙන් සිත මුදමින්, තෘතීය ධ්‍යානයෙන් ප්‍රීතිය කෙරෙන් සිත මුදමින්, චතුර්‍ථ ධ්‍යානයෙන් සුඛ-දුඃඛ කෙරෙන් සිත මුදමින්, ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. (මේ සමාධි වශයෙනි) නොහොත් ඒ ප්‍ර‍ථම ධ්‍යානයන්ට සමවැද එයින් නැඟී ධ්‍යාන සම්ප්‍ර‍යුක්ත චිත්තය ක්‍ෂය-ව්‍යය වශයෙන් සම්මර්‍ශනය කරයි. එසේ සම්මර්‍ශනය කරන යෝගී විදර්‍ශනාක්‍ෂණයෙහි අනිච්චානුපස්සනායෙන් නිත්‍ය සංඥායෙන් ද, දුක්ඛානුපස්සනායෙන් සුඛ සංඥායෙන් ද, අනත්තානුපස්සනායෙන් ආත්ම සංඥායෙන් ද, නිබ්බිදානුපස්සනායෙන් නන්‍දියෙන් ද, විරාගානුපස්සනායෙන් රාගයෙන් ද, නිරෝධානුපස්සනායෙන් සමුදයයෙන් ද, පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදානයෙන් ද සිත මුදමින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නේ ය. “විමොචයං චිත්තං අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්ඛති” යි. එ හෙයින් වදාළේ ය. මෙසේ හෙයින් චිත්තානුපස්සනා වශයෙන් මේ චතුෂ්කය වදාරන ලද්දේ යයි දත යුතු යි.

 

චතුර්‍ථ චතුෂ්කය

 

1.  “අනිච්චානුපස්සී         අස්සසිස්සාමීති   සික්ඛති

”          පස්සසිස්සාමීති  සික්ඛති

2.  “විරාගානුපස්සී          අස්සසිස්සාමීති   සික්ඛති

”          පස්සසිස්සාමීති  සික්ඛති

3.  “නිරොධානුපස්සී         අස්සසිස්සාමීති   සික්ඛති

”          පස්සසිස්සාමීති  සික්ඛති

4.  “පටිනිස්සග්ගානුපස්සී    අස්සසිස්සාමීති   සික්ඛති

”          පස්සසිස්සාමීති  සික්ඛති

 

1. අනිත්‍යය යි දක්මින් ආශ්වාස කරන්නෙමි, ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මෙහි ලා අනිත්‍ය කිම? අනිත්‍යතාව කිම? අනිත්‍යය යි දැක්ම කිම? අනිත්‍යය යි දක්නේ කවරේ ද, යනු දත යුතු. එහි අනිත්‍ය නම් පඤ්චස්කන්‍ධ යි. කුමක් හෙයින් ද උත්පාද, ව්‍යය, අන්‍යථාත්‍ව යන මෙයින් යුක්ත බැවිනි. (“එහි ප්‍ර‍ත්‍යයසමුත්පන්න ධර්‍මයන්ගේ හේතු ප්‍ර‍ත්‍යයෙන් උත්පත්තිය - අහුත්‍වා සම්භවය - ආත්මලාභය උත්පාද නම. උත්පන්න වූ ඒ ධර්‍මයන්ගේ නිරෝධය විනාශය ව්‍යය නම. ජරායෙන් අන්‍යථාභාවය අන්‍යථාත්‍ව නමි. යම් සේ උත්පාදාවස්ථායෙන් භින්න වූ භඞ්ගාවස්ථායෙහි වස්තුභේදය නැද්ද, එසේ ම ස්ථිති සංඛ්‍යාත වූ භඞ්ගාභිමුඛාවස්ථායෙහි දු වස්තු භේදය නැති. එහි ජරා ව්‍යවහාරය වෙයි දන්නේ” යනු සන්නයි.) අනිත්‍යතා නම් ඒ පඤ්චස්කන්‍ධයන් ගේ ම උත්පාද ව්‍යය අන්‍යථාත්‍වය යි. (“යම් ලක්‍ෂණයන් තුන් දෙනෙකුන්ගේ සද්භාවයෙන් ස්කන්‍ධයන් කෙරෙහි අනිත්‍ය සංඥාව වේ ද ඒ ලක්‍ෂණත්‍ර‍ය අනිත්‍ය නම් වේ” යනු සන්නයි.) ඉපිදැ නැතිවීම, උපන් දේ ඒ උපන් ආකාරයෙන් නො තිබී ක්‍ෂණ භඞ්ගයෙන් බිඳී යාම අනිත්‍යතාව යැ යි සේ යි. අනිත්‍යය යි දැක්ම නම් ඒ ක්‍ෂණභඞ්ග සංඛ්‍යාත අනිත්‍යතාවගේ වශයෙන් රූපාදි ධර්‍මයන් කෙරෙහි අනිත්‍යය යි බැලීම යි. අනිත්‍යය යි දක්නේ නම් එසේ බලන යෝගාවචර යි. මෙසේ අනිත්‍යය යි දක්මින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නේ “අනිච්චානුපස්සී අස්සසිස්සාමි පස්සසිස්සාමිති සික්ඛති” යි වේ.

 

2. විරාගය දක්මින් ආශ්වාස කරන්නෙමි, ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මෙහි ලා ක්‍ෂය විරාගය, අත්‍යන්ත විරාගය යි විරාග ද්විවිධ ය. ක්‍ෂය විරාග නම් සංස්කාරයන්ගේ ක්‍ෂණ භඞ්ගය. අත්‍යන්ත විරාග නම් නිර්‍වාණ ය. විරාගානුපස්සනා නම් ඒ ක්‍ෂය විරාග, අත්‍යන්ත විරාග වශයෙන් පැවැති විදර්‍ශනාව හා මාර්‍ගය යි. ඒ දෙ වැදෑරුම් අනුපස්සනායෙන් යුක්ත වැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නේ “විරාගානුපස්සී-පෙ-සික්ඛති” යි වේ. (ක්‍ෂය විරාගානුපස්සනා වශයෙන් විදර්‍ශනාවගේ ද අත්‍යන්ත විරාගානුපස්සනා වශයෙන් මාර්‍ගයාගේ ද ප්‍ර‍වෘත්තිය යෙදිය යුතු” යනු සන්නයි.)

 

3. නිරෝධය දක්මින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. මෙහි අර්‍ථ විරාගානුපස්සනායෙහි මෙනි. (ක්‍ෂය නිරෝධ, අත්‍යන්ත නිරෝධය යි නිරෝධ ද්විවිධ ය. ක්‍ෂය නිරෝධ නම් සංස්කාරයන්ගේ ක්‍ෂණ භඞ්ගය. අත්‍යන්ත නිරෝධ නම් නිර්‍වාණය. ක්‍ෂය නිරෝධයෙන් විදර්‍ශනාව ද අත්‍යන්ත නිරෝධයෙන් මාර්‍ග ද කීය.

 

4. පටිනිස්සග්ගය දක්මින් ආශ්වාස කරන්නෙමි ප්‍ර‍ශ්වාස කරන්නෙමි යි හික්මෙන්නේ ය. පටිනිස්සග්ග වනාහි පරිච්චාග පටිනිස්සග්ග, පක්ඛන්‍දන පටිනිස්සග්ගය යි දෙ වැදෑරුම් වේ. ඒ දෙ වැදෑරුම් පටිනිස්සග්ග අනු වැ බැලීම පටිනිස්සග්ගානුපස්සනාය. පටිනිස්සග්ගානුපස්සනා යනු විදර්‍ශනාවට හා මාර්‍ගයට නම් බව දත යුතු. එහි විදර්‍ශනාව ද පරිච්චාග පටිනිස්සග්ගානුපස්සනා හා පක්ඛන්‍දන පටිනිස්සග්ගානුපස්සනා වේ.

 

ඒ මෙසේ ය :- තදඞ්ග ප්‍ර‍හාණ වශයෙන් ස්කන්‍ධාහිසංස්කාරයන් සමග කෙලෙස් දුරු කරන විට විදර්‍ශනාව පරිච්චාග පටිනිස්සග්ගානුපස්සනා වේ. (අනිත්‍යානුදර්‍ශනා තොමෝ තදඞ්ග ප්‍ර‍හාණ වශයෙන් නිත්‍ය සංඥාව දුරු කරන්නී  නිත්‍ය ග්‍ර‍හණ වශයෙන් ප්‍ර‍වෘත්ත ක්ලේශයන් හා තන්මූලක අභිසංස්කාරයනු දු තදුහය මූලක වූ අනාගතයෙහි උපදනා විපාක ස්කන්‍ධයන් ද දුරු කෙරේ. දුඃඛ සංඥාදිය ද එසේ ම දුරු කෙරේ යනු සන්නයි.) සංස්කාරයන්ගෙ අනිත්‍යාදි දෝෂ දැක්මෙන් එ බඳු දෝෂ නැති නිර්‍වාණයෙහි නිම්න භාවයෙන් පැනැ වදින විට විදර්‍ශනාව පක්ඛන්‍දන පටිනිස්සග්ගානුපස්සනා වේ. මාර්‍ගය ද පරිච්චාගපටිනිස්සග්ගානුපස්සනා හා පක්ඛන්‍දන පටිනිස්සග්ගානුපස්සනා වේ.

 

ඒ මෙසේ ය :- සමුච්ඡේද ප්‍ර‍හාණ වශයෙන් ස්කන්‍ධාභිසංස්කාරයන් සමග කෙලෙස් දුරු කරන විට මාර්‍ගය පරිච්චාග පටිනිස්සග්ගානුපස්සනා වේ. (“මාර්‍ගයෙන් ක්ලේශයන් පරිත්‍යාග කරන කල්හි විපාක ධර්‍මතාපාදනයෙන් අභිසංස්කාරයෝ ද, අනුත්පත්තියට අර්‍හ බැවින් තන්මූලක වූ විපාක ස්කන්‍ධයෝ ද පරිත්‍යක්ත නම් වෙත්” යනු සන්න යි.) අරමුණු කිරීම් වශයෙන් නිර්‍වාණයෙහි පැනැ වදින විට මාර්‍ගය පක්ඛන්‍දන පටිනිස්සග්ගානුපස්සනා වේ. විදර්‍ශනා මාර්‍ග සංඛ්‍යාත මේ පටිනිස්සග්ගය අනුපස්සනා වන්නේ පූර්‍ව-පූර්‍ව ඥානයට අනු වැ බලන බැවිනි. (මාර්‍ගඥානය ද, ගොත්‍ර‍භුඥානයට පසු වැ නිර්‍වාණ දර්‍ශනය කරන හෙයින් අනුපස්සනා නම් හගනේ” යනු සන්න යි.) පටිනිස්සග්ග නම් හැරැ පීම යි. දුරු කිරීම වශයෙන් ම හැරැපීම ය, පැනැ අරමුණු වශයෙන් අල්ලා ගැනීමෙන් හැරැ පීම යයි ඒ හැරැ පීම දෙ වැදෑරුම් බව කී නියා දත යුතු. මෙයින් විදර්‍ශනා ඥාන හා මාර්‍ග ඥාන ගැනේ.) ඒ දෙවැදෑරුම් හැරැ පීමෙන් යුක්ත වැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කරමි යි හික්මෙන්නේ “පටිනිස්සග්ගානුපස්සි අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්ඛති” යි කීයේ වේ.

 

මේ සතර වන චතුෂ්කය ශුද්ධ විදර්‍ශනා වශයෙන් ද - මුල් චතුෂ්ක තුන සමථ-විදර්‍ශනා වශයෙන් ද වදාළ බැව් දත යුතු.

 

චතුෂ්ක වශයෙන් ෂෝඩශ වස්තුක ආනාපාණසති

භාවනා නය නිමියේ යි.

 

ආනාපාණසති භාවනානිසංසය

 

මෙසේ ෂෝඩශ වස්තු වශනෙය් ද, ශාන්තභාවාදි වශයෙන් ද මේ ආනාපාණසතිය මහත් ඵල වේ. මහානිසංස වේ. “අයම්පි ඛො භික්ඛවෙ ආනාපාණසති සමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණිතො ච”[316] යනාදීන් ඒ ශාන්තභාවාදිය යට කියන ලද්දේ ය.

 

විතර්‍ක සිඳැ ලීම ද මෙහි එක් මහානිසංසයෙකි. මේ වනාහි යට දැක්වුණු සේ ශාන්ත ප්‍ර‍ණීත අසේචනක සුඛවිහාර බැවින් සමාධියට අන්තරායකර වූ විතර්‍කයන්ගේ වශයෙන් සිත ඔබ-මොබ දිවීම නවත්වා ආනාපාණාරම්මණයට ම අභිමුඛ කරන බැවිනි. “ආනාපාණසති භාවෙතබ්බො විතක්කූපච්ඡදාය” යනු එහෙයින් වදාළේ යි. (විතර්‍ක සිඳැලීම සඳහා ආනාපාණසති වැඩිය යුතු යනු එහි අර්‍ථ යි.)

 

මාර්‍ග-ඵල පිරීමට මුල් වන බව ද එක් මහානිසංසයෙකි. “ආනාපාණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති. චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්තබොජ්ඣංගෙ පරිපූරෙන්ති සත්තබොජ්ඣංගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්ති පරිපූරෙන්ති[317] ආනාපාණසති වඩන ලද්දේ සිව් සීවටන් ද, සිව් සීවටන් වඩන ලද්දේ සත්තබොජ්ඣංග ද, සත්තබොජ්ඣංග වඩන ලද්දේ මාර්‍ග ඵල ද පුරන්නේ ය’යි වදාළ බැවිනි.

 

චරිමක ආශ්වාස-ප්‍ර‍ශ්වාස දැනැ ගැන්ම ද එක් මහානිසංසයෙකි. “එවං භාවිතාය ඛො රාහුල ආනාපාණසතියා එවං බහුලීකතාය යෙපි තෙ චරිමකා අස්සාසපස්සාසා තෙපි විදිතා‘ව නිරුජඣන්ති නො අවිදිතා[318] ‘රාහුලය, ආනාපාණසතිය මෙසේ භාවිත බහුලීකෘත කළ කල්හි චරිමක ආශ්වාස-ප්‍ර‍ශ්වාස පවා දැනී මැ නිරුද්ධ වේ. නො දැනී නිරුද්ධ නො වෙයි’ යනු වදාළ බැවිනි. (චරිමක නම් අවශානය කෙළවර ය.)

 

ආශ්වාස-ප්‍ර‍ශ්වාස පිළිබඳ නිරුද්ධවීම් වශයෙන් චරිමක තුනෙකි. භවචරිමක, ඣානචරිමක, චුතිචරිමකය යි භව අතුරෙන් කාම භවයෙහි ආශ්වාස-ප්‍ර‍ශ්වාස ඇති රූපාරූප භවයෙහි නැති. එ බැවින් කාම භවයෙහි ආශ්වාස-ප්‍ර‍ශ්වාස ඇති. රූපාරූපභාවයෙහි නැති. එ බැවින් කාම භවයෙහි ආශ්වාස-ප්‍ර‍ශ්වාස භවචරිමකය. ධ්‍යාන අතුරෙන් ප්‍ර‍ථම ද්විතීය තෘතීය ධ්‍යානයන්හි ආශ්වාස-ප්‍ර‍ශ්වාස ඇති. චතුර්‍ථ ධ්‍යානයෙහි නැති. එබැවින් ප්‍ර‍ථම ධ්‍යානත්‍ර‍යයෙහි ආශ්වාස-ප්‍ර‍ශ්වාස ධ්‍යාන චරිමක ය. චුති චිත්තයට පෙරාතු වැ සොළොස් වන චිත්තය සමග උපන් යම් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කෙනෙක් ඒ චුති චිත්තය සමග නිරුද්ධ වෙද් ද ඒ ආශ්වාස-ප්‍ර‍ශ්වාස චුතිචරිමක ය. මෙහි චරිමක යන්නෙන් දැක්වූයේ මේ චුති චරිමක බව දත යුතු. (“රහත්නට වනාහි සිත්හු ශාන්ත ව වැටෙන බැවින් ආශ්වාස ප්‍ර‍ශ්වාසයෝ චුති චිත්තයෙන් පෙරටවැ මැ නිරුද්ධ වෙත්” යනු සන්න යි.) මේ චුති චරිමක ආශ්වාස-ප්‍ර‍ශ්වාස මේ කමටහනෙහි මනාව යෙදුණු යෝගීහට ප්‍ර‍කට වැ ම දැනෙයි.

 

ඒ එසේ මැයි :- චුති චිත්තයට පෙරාතු සොළොස් වන සිත උපදින විට ඒ උත්පාදය ආවර්‍ජනය කරත්ම උත්පාදය ප්‍ර‍කට වෙයි. ස්ථිතිය ආවර්‍ජනය කරත් ම ස්ථිතිය ප්‍ර‍කට වෙයි. භඞ්ගය ආවර්‍ජනය කරත් ම භඞ්ගය ප්‍ර‍කට වෙයි.

 

සෙසු කමටහන් වඩා රහත් වන භික්‍ෂූන්ගේ දිවි පවත්නා කාලය පරිච්ඡින්න ද විය හැකි ය. අපරිච්ඡින්න ද විය හැකි ය. මේ ශෝඩෂ වස්තුක ආනාපාණසතිය වඩා රහත් වන භික්‍ෂූන්ගේ දිවි පවත්නා කාලය පරිච්ඡින්න ම ය. මේ වනාහි මගේ ආයු සංස්කාර මෙතෙක් කල් පවත්නේ ය. මින් මතු නො පවත්නේ ය’යි දැනැ ස්වකීය ධර්‍මතා වශයෙන් ම සිරුරු පිළිදැගුම් සිවුරු හැඳුම් පෙරවීම් ආදි සියලු කෘත්‍ය කොට නිමවා ඇස් පියාලන්නේ ය. කොළපව් වෙහෙර විසූ තිස්ස තෙරණුවෝ ද, මහකරඳ වෙහෙර විසූ මහාතිස්ස තෙරණුවෝ ද, දෙව්පුත් රට පිණ්ඩපාතික තෙරණුවෝ ද, සිතුල්පව් වෙහෙර විසූ දෙ සොහොයුරු තෙරහු ද එසේ කොළෝ වෙති. අවසානයෙහි කථා ප්‍ර‍වෘත්තිය මෙසේ ය.

 

සිතුල්පව් වෙහෙර විසූ දෙ බෑ තෙරුන් අතුරෙන් එක් නමෙක් පුරපසළොස්වක පාමොක් දෙසා භික්‍ෂු සංඝයා පිරිවරා තමා වැඩ වසන වෙහෙරට එළැඹැ සක්මන් මලුවේ සිටැ සඳ පහන බලා ස්වකීය ආයුඃසංස්කාරය ද බලන්නේ (“පෙර අඩ මස සවස් වේලෙහි හාත්පසින් හමන ලද ක්‍ෂීර ධාරා බඳු වූ ගගන තලය ද, රිදී පට බඳු වැලි තලා ඇති භූමි භාගය ද දැකැ මෙ කල ද, ප්‍රදේශය ද, රම්‍ය ය, මාගේ අදහස වැන්න. කෙතෙක් කල් මේ දුඃඛභාරය ඉසිලිය යුතු දෝ යි තමන් ආයුසංස්කාරය සලකා යන අභිප්‍රාය යි” යනු සන්න යි.) “ඔබ කෙබඳු ඉරියව්වෙකින් පිරිනිවෙනා භික්‍ෂූන් දුටුහු දැයි” භික්‍ෂූන් විචාළේ ය. “අපි අසුන්හි හිඳැ ගෙනැ පිරිනිවෙනා භික්‍ෂූන් දුටුම්හ”යි කෙනෙක් කීහ. “අපි අහස පලඟ බැඳැ පිරිනිවෙනා භික්‍ෂූන් දුටුම්හ” යි කෙනෙක් කීහ. “එසේ ද එසේ නම් මම ඔබට සක්මන් කරමින් පිරිනිවෙනා භික්‍ෂුවක් දක්වමි. බැලුව මැනවැ”යි කියා සක්මන සරස ඉරක් ඇඳැ “මම මේ කෙළවරින් අනෙක් කෙළවරට ගොස් එයින් හැරී එන්නෙම් මේ ඉරට පැමිණැ පිරිනිවෙන්නමි”යි කියා සක්මනට බැසැ අනෙක් කෙළවරට ගොස් හැරී එන්නේ ශ්‍රී පතුලින් ඉර ඇක්ම ගත්තේ ම පිරිනිවියේ ය.

 

“තස්මා හවෙ අප්පමත්තො - අනුයුඤ්ජෙථ පණ්ඩිතො

එවං අනෙකානිසංසං - ආනාපාණ සතිං සදා.”

 

මෙසේ හෙයින් නුවණැත්තේ අනේකානිසංස ඇති මේ ආනාපාණසතියෙහි සත්තයෙන් ඒකාන්තයෙන් යෙදෙන්නේ ය.

 

ආනාපාණසති භාවනායෙහි විස්තර කථාමුඛස යි.

 

උපසමානුස්සතිය

 

ආනාපාණසතියට අනතුරු වැ උපසමානුස්සතිය දක්වන ලද්දේ ය. එය වඩනු කැමති යෝගී විසින් විවේක ගත වැ නොයෙක් අරමුණු වලින් සිත ඉවත් කොටැ “යාවතා භික්ඛවෙ ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා විරාගො තෙසං ධම්මානං අග්ගමක්ඛායති යදිදං මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො වට්ටුපච්ඡෙදො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාණං”[319] මහණෙනි! සඞ්ඛත වූ හෝ අසංඛත වූ හෝ යම්තාක් ධර්‍ම ඇද්ද ඒ ධර්‍ම අතුරෙන් විරාගය අග්‍ර‍ය යි කියනු ලැබේ. ඒ වනාහි මදනිම්මදනය, පිපාස විනයය, ආලයසමුග්ඝාත, වට්ටුපචේඡදය, තණ්හාක්ඛයය, විරාගය, නිරොධය, නිර්‍වාණයයි වදාළ පරිදි සියලු දුක් නිවාලන නිර්‍වාණයෙහි ගුණ සිහි කළ යුතුය. එහි :

 

සඞ්ඛත නම් හේතුයෙන් ප්‍ර‍ත්‍යයයෙන් නිපන්නේ ය.

අසඞ්ඛත නම් හේතුයෙන් ප්‍ර‍ත්‍යයෙන් නො නිපන්නේ ය.

 

ධර්‍ම නම් ස්වභාව ධර්‍ම ය, (පඤ්ඤත්තිධම්මා යනාදියෙහි අසභාවය ද ධර්‍ම නම් වන බැවින් එයින් නිවෘත්තනය කරන්නේ “ධම්මාති සභාවා”යි කීහු යනු සන්න යි”)

 

විරාග නම් රාගාභාවය යි. නිර්‍වාණය යි. නිර්‍වාණය රාගාභාව මාත්‍ර‍ ම නො වේ. මදනිම්මදනාදිය ද වන්නේය යි දක්වන්නට මදනිම්මදන යනාදිය වදාළේ ය.

 

මදනිම්මදනය = නිර්‍වාණයට පැමිණීමෙන් සියලු මාන මද පුරුෂ මද ජාතිමදාදිය නිම්මදන වේ - විනාශ වේ. එ බැවින් නිර්‍වාණය මදනිම්මදන ය.

 

පිපාසවිනය = නිර්‍වාණයට පැමිණීමෙන් සියලු කාමපිපාසා - කාමතෘෂ්ණා, විනයයට - අස්තයට ය යි. එ බැවින් නිර්‍වාණය පිපාසවිනය.

 

ආලයසමුග්ඝාතය = නිර්‍වාණයට පැමිණීමෙන් පඤ්චකාම ගුණාලය සමුග්ඝාතයට - විනාශයට ය යි. එ බැවින් නිර්‍වාණය ආලයසමුග්ඝාතය.

 

වට්ටුපච්ඡේදය = නිර්‍වාණයට පැමිණීමෙන් ත්‍රෛභූමක වෘත්ත ඡේදය - සිඳීමට යයි. එ බැවින් නිර්‍වාණය වට්ටුපච්ඡේදය.

 

තණ්හක්ඛය, විරාගය, නිරොධය = නිර්‍වාණයට පැමිණීමෙන් සියලු තෘෂ්ණා ක්‍ෂයට යයි. නොඇලීමට යයි. නිරුද්ධ වෙයි. එ බැවින් නිර්‍වාණය තණ්හක්ඛය, විරාගය, නිරොධයි.

 

නිර්‍වාණය = තාෂ්ණාව වනාහි සත යොනි - පස් ගති - සප්ත විඥානස්ථිති - නව සත්ත්‍වාවාස යන ම් මතු - මතු භව පිණිස බඳනා හයෙින් - නිවන හෙයින් වාණය යි කියනු ලැබේ. ඒ වාණයෙන් නික්මුණේ - නො ඇළුණේ නිර්‍වාණ ය.

 

මෙසේ මදනිම්මදන්තාදි ගුණ වශයෙන් නිර්‍වාණ සංඛ්‍යාත උපසමය සිහි කළ යුතු.

 

තවද භාගවත් බුදුහු විසින් “අසංඛතං ච වො භික්ඛවෙ දෙසිස්සාමි - සච්චං ච - පාරං ච - සුදුද්දසං ච - අජරං ච - ධුවං ච - නිප්පපඤ්චං ච - අබ්‍යාපජ්ඣං ච - විසුද්ධිං ච - දීපං ච - තානංච වො භික්ඛවෙ දෙසිස්සාමි” යනාදීන් වදාළ උපසම ගුණ වශයෙන් ද සිහි කළ යුතු. එහි ප්‍ර‍ත්‍යයෙන් නො නිපන් බැවින් අසංඛතය. සැබෑ බැවින් සච්චය. (“නිවන් තෙමේ කිසි පර්‍ය්‍යායකිනු දු අසත් නොවන බැවින් එකාන්තයෙන් සත් ‍හෙයින් ම අවිපරීර්‍ථයෙන් සත්‍ය නම්” එ හෙයින් කීහ:- “එකං හි සච්චං න දුතියමත්‍ථි” යනු සන්න යි) සසර පරතෙර බැවින් පාර ය. පරම ගම්භීර බැවින් ද, ඉතා සියුම් ශාන්ත ස්වභාව ඇති බැවින් ද නුමුහු කළ නුවණ නැතියන් විසින් දක්නට දුෂ්කර ය. ජරා නැති බැවින් අජර ය. ජරාදීන් නො නස්නා හෙයින් ස්ථිර හෙයින් ධුව ය. තෘෂ්ණා ප්‍ර‍පඤ්ච රහිත බැවින් නිප්පපඤ්ච ය. මරණ නැති බැවින් අමත ය. අශිව බව කරන කෙලෙස් නැති බැවින් සිව ය. කාමාදීන් උපද්‍ර‍ව නැති බැවින් ඛේම ය. ආශ්චර්‍ය්‍ය බැවින් ද අභූතපූර්‍ව බැවින් ද අබ්භූත ය. ඊති සංඛ්‍යාත අනර්ථ නැති බැවින් අනිතික ය. දුක් නැති බැවින් අව්‍යාපජ්ඣ ය. අත්‍යන්තයෙන් පිරිසිදු බැවින් විසුද්ධි ය. කාමාදි චතුරෝඝයෙන් නො මඩන ලද බැවින් දීප ය සසර දුකින් රක්නා බැවින් තාන ය.

 

මෙසේ උපසමය සිහි කරත් ම ඒ යෝගිහුගේ සිත ඒ වේලෙහි රාග-ද්වේෂ මෝහාදියෙන් පරිපීඩිත නො වේ. උපසමය අරබයා ම සිත සෘජු වේ. එවිට බුද්ධානුස්මෘති ආදියෙහි කී පරිදි නිවරණ විෂ්කම්භන වේ. ධ්‍යානාඞ්ග උපදී. උපසම ගුණ ගැඹුරු බැවින් ද, නානාවිධ ගුණ සිහි කිරීමෙහි අදහස් ඇති බැවින් ද අර්පණා ප්‍රාප්ත නො වැ ධ්‍යානය උපචාර ප්‍රාප්ත ම වේ. උපසම ගුණ සිහි කරන බැවින් මෙයට උපසමානුස්සතිය යි කියනු ලැබේ. යට දැක්වුණු ෂඩනුස්මෘති මෙන් මෙ ද සමෘද්ධ වන්නේ ආර්‍ය්‍යශ්‍රාවකයන්ට ම ය. එසේ වුව ද උපසමය ගරු කොටැ ගත් පුහුදුන් විසින් ද මෙනෙහි කටයුතු. ශ්‍රැත වශයෙනු දු උපසමයෙහි සිත පහදන බැවිනි.

 

මේ උපසමානුස්සතිය වඩනා යෝගී සුව සේ සැතපෙන්නේ ය. සුව සේ පිබිදෙන්නේ ය. සන්සුන් ඉඳුරන් ඇති වන්නේ ය. සන්සුන් සිත් ඇති වන්නේ ය. හිරි ඔතප් දෙකින් යුක්ත වන්නේ ය. පසාද උපදවන්නේ ය. ප්‍ර‍ණීත අදහස් ඇති වන්නේ ය. සබ්‍ර‍ම්සරුන්හට ගරු සම්භාවනීය වන්නේ ය. මතුයෙහි චතුස්සත්‍යාවබෝධය නූනි නම් ස්වර්‍ගපරායන වන්නේ ය.

 

“තස්මා භවෙ අප්පමත්තො

භාවයෙථ විචක්ඛණො

එවං අනෙකානිසංසං

අරියෙ උපසමෙ සතිං.”

 

මෙසේ හෙයින් නුවණැති යෝගී එකාන්තයෙන් අප්‍ර‍මාද වැ නොයෙක් ආනිසංස ඇති මේ උතුම් උපසමානුස්සතිය වඩන්නේයි.

 

උපසමානුස්සති භාවනායෙහි විස්තර කථා මුඛය යි.

 

හුදී ජන පහන් පිණිස කළ විශුද්ධිමාර්‍ගයෙහි

සමාධිභාවනාධිකාරයට ඇතුළත් අනුස්සතිකම්මට්ඨාන

නිර්දේශ නම් අටවන පරිච්ඡේදය නිමි.

 


නවවන පරිච්ඡේදය

සතර බ්‍ර‍හ්ම විහරණය

 

මෛත්‍රී භාවනාව

 

දස අනුස්සතියට අනතුරු වැ දක්වන ලද මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍ර‍හ්ම විහරණ අතුරෙන් මෛත්‍රී බ්‍ර‍හ්ම විහරණ වඩනු කැමැති ආදිකම්මික යෝගීහු විසින් කුඩා මහත් පළිබෝධයෙන් දුරු වැ කර්‍මස්ථානය ගෙනැ භක්ත කෘත්‍යය නිමවා භක්ත මුර්ඡාව ද සන්සිඳුවා ගෙනැ විවේක ස්ථානයෙක පනවන ලද ආසනයෙහි සුවසේ හිඳැ පළමුකොට ද්වේෂයෙහි ආදීනව ද ක්‍ෂාන්තියෙහි ආනිසංස ද සිහිකළ යුතු. කුමක් හෙයින් ද මේ භාවනායෙන් කළ යුත්තේ ද්වේෂය දුරු කිරීම ය. ක්‍ෂාන්තිය ලැබැ ගැනීම ය. ආදීනව නුදුටු කිසිවක් දුරුකරන්නට හෝ ආනිසංස නුදුටු කිසිවක් ලැබැ ගන්නට බැරි ය. එ බැවින් “දුට්ඨො ඛො ආවුසො දොසෙන අභිභුතො පරියාදිනත චිත්තො පාණම්පි හන්ති”[320] යනාදීන් වදාළ සූත්‍රානුසාරයෙන් ද්වේෂයෙහි ආදීනව දැක්ක යුතු ය.

 

‘මහණෙනි! ද්වේෂයෙන් දූෂිත වූ, අභිභුත වූ හාත්පසින් අල්ලා ගන්නා ලද සිත ඇත්තා වූ පුද්ගලයා ප්‍රාණඝාත ද කරන්නේ ය’ යනු එහි අර්‍ථ යි.

 

“ඛන්ති පරමං තපො තිතික්ඛා

නිබ්බාණංපරමංවදන්ති බුද්ධා”[321]

“ඛන්තීබලං බලාණිකං

තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං”[322]

“ඛන්ත්‍යා භීය්‍යො න විජ්ජති”[323]

 

යනාදීන් වදාළ ධර්‍මානුසාරයෙන් ක්‍ෂාන්තියෙහි ආනිසංස දැක්ක යුතු ය. ‘ක්‍ෂාන්ති සංඛ්‍යාව තිතක්‍ෂාව - ඉවසීම පරම තපස ය, ‘ක්‍ෂාන්තිය බල කොටැ ඇති ක්‍ෂාන්තිය බල ඇණි කොටැ ඇති ඔහු මම බ්‍රාහ්මණයා යි කියමි’ ‘ක්‍ෂාන්තියට වඩා උසස් ගුණයෙක් නැත’ යනු එහි අර්‍ථ යි.

 

මෙසේ ආදීනව දැකැ ද්වේෂයෙන් සිත මුදනු සඳහා ද ආනිසංස දැකැ ක්‍ෂාන්තියෙහි සිත යොදනු සඳහා ද මෛත්‍රී භාවනාවට පටන් ගත යුතු ය. පටන් ගනුවන් විසින් පළමු කොටැ ම ‘මේ මේ පුද්ගලයන් කෙරෙහි මෛත්‍රී වැඩිය යුතු ය. මේ පුද්ගලයන් කෙරෙහි මෛත්‍රී නො වැඩිය යුතු ය’ යි පුද්ගල දෝෂ දැනගත යුතුයි.

 

අප්‍රිය, අතිප්‍රියසහාය, මධ්‍යස්ථ, වෛරී යන මේ සතර පුද්ගලයන් කෙරෙහි පළමු කොටැ මෛත්‍රී නො වැඩිය යුතු ය. ලිඞ්ග විසභාගයන් කෙරෙහි සීමා වශයෙන් මෛත්‍රී නො වැඩිය යුතුය. මළවුන් කෙරෙහි ද මෛත්‍රී නො වැඩිය යුතු යි.

 

කුමක් හෙයින් ද අප්‍රිය පුද්ගලයා ප්‍රිය තන්හි තබා ගන්නට යාමෙන් සිත පීඩා වන්නේ ය. අති ප්‍රිය සහායයා මධ්‍යස්ථ තන්හි තබා ගන්නට යාමෙන් එසේ ම සිත පීඩා වන්නේ ය. ඔහුට ස්වල්ප වූ ද දුකක් වූ විට හඬන්නට පවා සිදු වේ. මධ්‍යස්ථ පුද්ගලයා ගරු තන්හි ප්‍රිය තන්හි තබා ගන්නට යාමෙන් ද සිත පීඩා වන්නේ ය. වෛරී පුද්ගලයා හිසිවන්නා හා ම ක්‍රෝධය උපදින්නේ ය. එ බැවින් අප්‍රියාදි සතර දෙනා කෙරෙහි පළමු කොටැ මෛත්‍රී නො වැඩිය යුතු. ලිඞ්ග විසභාගයෝ නම් ස්ත්‍රීන්ට පුරුෂයෝ ය පුරුෂයන්ට ස්ත්‍රීහු ය. ඔවුන් කෙරෙහි සීමා වශයෙන් අසවලාට හෝ අසවලීට මෛත්‍රී කරන්නට යාමෙන් මෛත්‍රිය නො වැ වැඩෙන්නේ රාගය යි.

 

පෙර එක් ඇමති දරුවෙක් “ස්වාමීනි! කවුරුන් කෙරෙහි මෛත්‍රී වඩම් ද”යි කුලුපග භික්‍ෂුවක් විචාළේ ය. හේ “ප්‍රියවතකු කෙරෙහි වඩව”යි කීය. ඒ ඇමති දරුවාට සිය බිරිය ප්‍රිය ය. හේ ඇය කෙරෙහි මෛත්‍රී වඩන්නට යාමෙන් මුළු රැය ම භිත්ති යුද්ධය කෙළේ යි[324]* එ බැවින් ප්‍රිය පුද්ගලයා කෙරෙහි සීමා වශයෙන් පළමු කොටැ මෛත්‍රී නො වැඩිය යුතු.

 

මළවුන් කෙරෙහි මෛත්‍රී වැඩීමෙන් අර්පණා-උපචාර ලැබ ගත නො හැකි ය. එක් නවක භික්‍ෂූ නමෙක් ආචාර්‍ය්‍යයන් කෙරෙහි මෛත්‍රී වැඩුයේ ය. එහෙත් ඔහුගේ මෛත්‍රිය සඵල නො වෙයි. හේ මහ තෙරුන් කරා ගොස් “ස්වාමිනි! මට මෛත්‍රී ධ්‍යාන සමාපත්තිය මැනවින් ප්‍ර‍ගුණය. එහෙත් එයට සම වැදැ ගන්නට බැරි ය. කරුණු කිම දැ යි” විචාළේ ය. මහ තෙරුන් වහන්සේ “ඇවැත්නි! නිමිත්ත ජීවත් වැ ඇද්දැ යි පිරික්සවා”යි කී සේක. හේ පිරික්සනුය් ආචාර්‍ය්‍යයන් අපවත් වූ බැව් දැනැ අන් තැනෙක මෙත් වඩා අර්පණා ලද, එ බැවින් මළවුන් කෙරෙහි ද මෛත්‍රී නො වැඩිය යුතු.

 

මෛත්‍රී වඩන්නා විසින් සියල්ලට පළමු වැ “මම සුවපත්මි, නිදුක්මි” කියා හෝ “මම වෛර නැත්තේමි, ව්‍යාපාද නැත්තෙමි, උපද්‍ර‍ව නැත්තේමි. සුව සේ ආත්මය පරිහරණය කරමි” කියා හෝ පුන පුනා තමන් කෙරෙහි ම මෛත්‍රී වැඩිය යුතු. මෙහි ලා ප්‍ර‍ශ්නයෙකි. එසේ පළමු කොට තමා කෙරෙහි ම මෛත්‍රී වැඩිය යුතු නම් විභඞ්ගයෙහි “කථං ච භික්ඛවෙ, භික්ඛු මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. සෙය්‍යථාපි එකං පුග්ගලං පියං මනාපං දිස්වා මෙත්තාය ය්‍ය එවමෙව සබ්බසත්තෙසු මෙත්තාය ඵරති”[325] ‘මහණෙනි! භික්‍ෂු තෙමේ මෛත්‍රී සහගත සිතින් කෙසේ එක් දිගක් පතුරුවා වෙසේ ද ප්‍රිය මනාප එක් පුද්ගලයකු දැකැ මෙත් කරන්නා සේ සියලු සතුන් කෙරෙහි මෙත් පතුරුවන්නේ ය’යි ද පටිසම්භිදායෙහි “කතමෙහි පඤ්චහාකාරෙහි අනොධිසො ඵරණා මෙත්තා චෙතොවිමුත්ති භාවෙතබ්බා! සබ්බෙ සත්තා -පෙ- සබ්බෙපාණා -පෙ- සබ්බෙ භුතා -පෙ- සබ්බෙ පුග්ගලා -පෙ- සබ්බෙ අත්තභාව - පරියා පන්තා අවෙරාහොන්තු අබ්‍යාපජ්ජා හොන්තු අනීඝා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු.”[326] ‘කවර පස් ආකාරයෙකින් අනොධිසො ඵරණ වශයෙන් මෛත්‍රී වැඩිය යුතු ද සියලු සත්‍වයෝ සියලු ප්‍ර‍ණීහු සියලු භුතයෝ, සියලු පුද්ගලයෝ, සියලු ආත්මභාව පර්‍ය්‍යපන්නයෝ, අවෛර, අව්‍යාපාද, අනීඝවෙත්වා, සුව සේ ආත්ම පරිහරණය කෙරෙත්වා’යි යි ද, කරණීය මෙත්ත සූත්‍රයෙහි “සුඛීනො වා ඛෙමිනො හොන්තු සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා”[327] සියලු සත්‍වයෝ සුඛිත වෙත්වා, ක්‍ෂෙමී වෙත්වා, සුවපත් වෙත්වා’ය යි ද, කුමක් හෙයින් සියලු සතුන් කෙරෙහි මෛත්‍රී වැඩිය යුතු ය යි වදාළ සේක් ද, එහි හා මෙහි නො වදාරන ලද්දේ නො වේ ද,

 

උත්තර මෙසේ ය:- සැබව එහි තමා කෙරෙහි මෛත්‍රී භාවනා වෙක් නො වදාරන ලද්දේ ය. එහෙත් එහි හා මෙහි හා විරෝධයෙක් ද නැත්තේ ය. කුමක් හෙයින් ද, එහි මෛත්‍රී භාවනා විධි දක්වන ලද්දේ අර්පණා වශයෙනි. මෙහි සාක්‍ෂ්‍ය වශයෙනි. අවුරුදු සියයක් දහසක් නමුදු “මම සුවපත්මි” යනාදි වශයෙන් තමා කෙරෙහි මෛත්‍රී වඩන්නහුට අර්පණා නො ලැබේ. එසේ වැඩීමෙන් ‘මම යම්සේ සුවපත් වනු කැමැත්තෙම් ද, දුකට පිළිකුල් කරම් ද, ජීවත්වනු කැමැත්තෙම් ද, නො මැරෙනු කැමැත්තෙම් ද එසේ අන්‍ය සත්ත්‍වයෝත් කැමැති වෙති’යි තමා සාක්‍ෂ්‍ය තන්හි තබා අනුන් කෙරෙහි හිත සුව කැමැති බව උපදින්නේ ය. භගවත් බුදුන් විසින් ද

 

“සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා

නෙවජ්ඣගා පියතර මත්තනා ක්වචි

එවං පියො පුථු අත්තා පරෙසං

තස්මා න හිංසෙ පරං අත්තකාමො”[328] යි.

 

‘සිතින් සියලු දිග් සොයා බැලුව ද ඒ කිසි දිගෙක තමහට වඩා ප්‍රියතරයෙක් නො ලැබෙන්නේ ය. ඔවුනොවුනට තම තමන්ගේ ශරීර වෙන වෙන ම ප්‍රිය ය. එබැවින් තමහට හිත කැමැත්තේ අනුනට හිංසා නො කරන්නේ ය’යි තමා සාක්‍ෂි භාවයේ තබා සතුන් කෙරෙහි මෙත් වැඩිය යුතු ය. යන මේ ක්‍ර‍මය වදාරන ලද්දේ ම ය. එ බැවින් සාක්‍ෂි පිණිස පළමු කොටැ තමා කෙරෙහි මෙත් වැඩිය යුතු ය. ඉක්බිති සුවසේ මෙත් පවත්වනු පිණිස තමහට ප්‍රිය මනාප ගරු භාවනීය ආචාර්‍ය්‍යවරයෙක් හෝ ආචාර්‍ය්‍ය සමානයෙක් හෝ උපාධ්‍යායයෙක් හෝ උපාධ්‍යාය සමානයෙක් හෝ වේ නම් ඔහුගේ දාන ප්‍රිය වචනා දි වූ ප්‍රිය මනාප කාරණ ද, ශීලශ්‍රැතාදි වූ ගරු භාවනීය කාරණ ද සලකා “ඒ සත් පුරුෂයාණෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා” යනාදි ක්‍ර‍මයෙන් මෙත් වැඩිය යුතු ය. මෙබන්දන් කෙරෙහි මෙත් වැඩීමෙන් එකාන්තයෙන් අර්පණා ලැබැ ගත හැකි ය.

 

මේ යෝගී විසින් එතෙකින් ම සතුටට නො පැමිණැ සීමා සමේභදය කරනු කැමැත්තෙන් ඉක්බිති අතිප්‍රිය මිත්‍ර‍යා කෙරෙහි මෙත් වැඩිය යුතු ය. අතිප්‍රිය මිත්‍ර‍යා කෙරෙහි මෙත් වඩා ඉක්බිති මධ්‍යස්ථයා කෙරෙහි මෙත් වැඩිය යුතු ය. මධ්‍යස්ථයා කෙරෙහි මෙත් වඩා ඉක්බිති වෛරී පුද්ගලයා කෙරෙහි මෙත් වැඩිය යුතු ය. මේ එක් එක් කොට්ඨාසයෙහි සිත මෘදු කොටැ කර්‍මණ්‍ය කොටැ ඉක්බිති අනතුරු කොට්ඨාශයෙහි මෙත් වැඩිය යුතු බව දත යුතු. (“පළමු කොටැ ප්‍රිය ගරු ස්ථානයෙහි මෛත්‍රී භාවනාවට පැමිණැ වසී භාවයට පැමිණි සිත්හු කොට්ඨාසාන්තරයට පමුණුවනු පිණිස මෘදු කර්‍මණ්‍ය කොටැ තදන්තර වැ අති ප්‍රියයා කෙරෙහි මෙත් වැඩිය යුතු. අති ප්‍රියයා කෙරෙහි මෛත්‍රී භාවනාවට පැමිණැ වසී භාවයට පැමිණි සිත්හු කොට්ඨාසාන්තරයට පමුණුවන පිණිස මෘදු කර්‍මණ්‍ය කොටැ තදන්තරයෙහි මධ්‍යස්ථයා කෙරෙහි මෙත් වැඩිය යුතු මධ්‍යස්ථයා කෙරෙහි උදාසීනභාවය විෂ්කම්භනය කොටැ ප්‍රිය භාවය ද එළවා භාවනා කළ යුතු නැවත ඒ භාවනාව ද වසී භාවාපාදනයෙන් මෘදු කර්‍මණ්‍ය කොට තදන්තර වැ වෛරීන් කෙරෙහි වෛරී සංඥා විෂ්කම්භනය කොටැ මධ්‍යස්ථයට පමුණුවන මුඛයෙන් ප්‍රිය භාවය ද උපදවන්නහු විසින් භාවනා එළවිය යුතු” යනු සන්න යි.)

 

ඉදින් යමකුහට වෛරී පුද්ගලයෝ හෝ නැත්නම් තමා මහා පුරුෂ ජාතික බැවින් නර්‍ථ කරන්නහු කෙරෙහි දු වෛරී සංඥා හෝ නූපදී නම් ඔහු විසින් “දැන් මගේ භාවනාව මධ්‍යස්ථයා කෙරෙහි කර්‍මණ්‍ය විය. වෛරී පුද්ගලයා කෙරෙහි ඉතින් භාවනා එළවමි”යි ව්‍යාපාර නො කළ යුතු යි. යමකුට වෛරී පුද්ගලයෝ ඇත් නම් ඔහු සඳහා ය. වෛරී පුද්ගලයා කෙරෙහි මෙත් වැඩිය යුතුය යි කියන ලද්දේ (මහාපුරුෂ ජාතිකයා චිරකාල පරිචයයෙන් සමෘද්ධ වූ ක්‍ෂාන්ති - මෛත්‍රී - කරුණාදි ගුණ සමන්විත බැවින් උදාර අදහස් ඇත්තේ ය. සියල්ල ඉවසන සුලු වූ හෙතෙමේ පරාපරාධය තණපතකට ද නො තකන්නේ ය.”

 

වෛරී පුද්ගලයා කෙරෙහි මෛත්‍රී එළවත් ම ඉදින් ඔහු විසින් කරන ලද අපරාද සිහි වීමෙන් ඔහු කෙරෙහි ක්‍රෝධ උපදී නම් එවිට පළමු කීවවුන් අතුරෙන්න යමකු කෙරෙහි මෛත්‍රී ධ්‍යාන ලබා එයින් නැඟී නැවත ඔහු කෙරෙහි මෛත්‍රී සිතීමෙන් ක්‍රෝධය දුරු කැරැ ගත යුතු යි. ඉදින් එසේත් ක්‍රෝධය නො සන්සිඳේ නම් කකචුපමොවාදා දි අනුසාරයෙන් ක්‍රෝධය දුරු කැරැ ගන්නට නැවත නැවත උත්සාහ කළ යුතු. ඔහු විසින් තමහට මෙසේ අවවාද කැරැගත යුතු යි.

 

‘කොළ! ක්‍රෝධ ශීලී පුද්ගලය! බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ වදාළසේක් නො වේ ද,

 

(1) “උභතො දණ්ඩකෙන චෙපිභික්ඛවෙ කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔකන්තෙය්‍යුං, තත්‍රාපි යො මනොපදොසෙය්‍ය න මෙ සො තෙන සාසනකරො”[329] යි.

 

(2) තස්සෙව තෙන පාපියො - යො කුද්ධං පටිකුජ්ඣති

කුද්ධං අප්පටිකුජ්ඣන්තො - ස ගාමං ජෙති දුජ්ජයං

උභින්නමත්‍ථ චරති - අත්තනො ච පරස්ස ච

පරං සංකුපිතං ඤත්‍වා යො සතො උපසම්මති”[330] යි.

 

(3) ‘සත්තිමෙ භික්ඛවෙ ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡන්ති ඉත්‍වා පුරිසං වා. කතමෙ සත්ත?

 

ඉධ භික්ඛවෙ සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති ‘අහොච තයාං දුබ්බණ්ණො අස්සා‘ති තං කිස්ස හෙතු? න භික්ඛවෙ සපත්තො සපත්තස්ස වණ්ණවතාය නන්‍දති. කොධනායං භික්ඛවෙ පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො කිඤ්චාපි සො හොති සුනහාතො සුවිලිත්තො කප්පිත කෙස මස්සු ඔදාතවත්‍ථවසනො. අථඛො සො දුබ්බණ්ණොව හොති කොධාභිභූතො. අයං භික්ඛවෙ පඨමො ධම්මො සපත්ත කන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්‍ථි වා පුරිසං වා.

 

පුන ච පරං භික්ඛවෙ සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති ‘අහොවතායං දුක්ඛං සයෙය්‍යා’ ති -පෙ-‘න පචුරත්‍ථො අස්සා‘ ති -පෙ- ‘න භොගවා අස්සා’ ති -පෙ- ‘න යසවා අස්සා’ ති -පෙ- ‘න මිත්තවා අස්සා ‘ති -පෙ- ‘න කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජෙය්‍යා ති. තං කිස්ස හෙතු, න භික්ඛවෙ සපත්තො සපත්තස්ස සුගති ගමනෙන නන්‍දති. කොධනායං භික්ඛවෙ පුරිසපුග්ගලො කොධාභිභුතො කොධපරෙතා කායෙන දුච්චරං චරති වාචාය දුච්චරං චරති. මනසා දුච්චරං චරති. සො කායෙන දුච්චරිතං චරිත්‍වා වාචාය දුච්චරිතං චරිත්‍වා මනසා දුච්චරිතං චරිත්‍වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති කොධාභිභූතො[331] යි.

 

(4) “සෙය්‍යථාපි භික්ඛවෙ ඡවාලාතං උභතො පදිත්තං මජ්ඣෙ ගූථගතං නෙව ගාමෙ කට්ඨත්‍ථං ඵරති, න අරඤ්ඤෙ කට්ඨත්‍ථං ඵරති. තථූපමාහං භික්ඛවෙ ඉමං පුරිස පුග්ගලං වදාමි[332]

 

‘ඉදින් තෝ දැන් කිපුණෙක් වන්නෙහි නම් බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය නොකරන්නෙක් වන්නෙහි ය. කිපුණහට පෙරළා කිපුණෙහි නම් ඒ කිපුණ පුද්ගලයාටත් වඩා තෝ පාපිෂ්ඨයෙක් වැ නො දිනිය හැකි සංග්‍රාමය නො දිනන්නෙහි ය. සපත්තකරණ ධර්‍ම තෙමේම තමා කෙරෙහි ඇති කැරැ ගන්නෙහි ය. සොහොන් පෙනෙල්ල බඳු ද වන්නෙහි ය.’

 

වදාළ පාලියෙහි අර්‍ථ මෙසේ ය.

 

(1) ‘මහණෙනි! ඉදින් දෙපස පොලු ලූ කියතෙකින් නපුරු වූ සොරු තම සිරුරු අවයව කපත් නම් එහිදී පවා යමෙක් සිත දූෂ්‍ය කැරැ ගත්තේ නම් හේ මාගේ ශාසනය කරන්නෙක් නො වන්නේ ය.’

 

(2) ‘යමෙක් කිපුණහුට පෙරළා කිපේ නම් හේ පළමු කිපුණහුටත් වඩා පාපිෂ්ඨයෙකි. කිපුණහුට පෙරළා නො කිපෙන්නේ නො දිනිය හැකි යුද්ධයක් දිනුයේ වන්නේ ය. අන්‍යයා කිපුණාදැකැ යමෙක් සිහි ඇති වැ ඉවසා නම් හේ තමහට ද අන් හට ද යන දෙපසට ම වැඩ සාධන්නේ ය.

 

(3) ‘මහණෙනි! සතුරකු විසින් තම සතුරාට කරනු කැමති වූ මේ ධර්‍ම සතෙක් ක්‍රෝධ කරන සුලු ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ ඉබේ ම පැමිණෙන්නේ ය.’

 

කවර නම් ධර්ම සතෙක් ද

 

1. ‘මහණෙනි! හෝ! මේ දුර්‍වර්ණ වේ නම් මැනවැ’යි සතුරා සතුරා ගැනැ සිතන්නේ ය. කුමක් හෙයින් ද, මහණෙනි! සතුරා තම සතුරා ගේ වර්‍ණ සම්පත්තිය නුරුස්නේ ය. මහණෙනි! ක්‍රෝධශීලි පුද්ගලයා ඉදින් දිය නා පියා සුවඳ විලවුන් ගල්වා හිස රැවුල් අන්දම තබා පිරිසිදු සුදු පිළි හැඳ සිටියේ නමුදු දුර්‍වණ මැ වන්නේ ය. මහණෙනි! ක්‍රෝධ ශීලී ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ පැමිණෙන මේ පළමු වන සපත්ත කරණ (සතුරු) ධර්‍මය යි.

 

2. ‘මහණෙනි! අහෝ! මේ දුකසේ වසන්නේ නම් මැනවැ’යි සතුරා, සතුරා ගැන සිතන්නේ ය. කුමක් හෙයින් ද, මහණෙනි1 සතුරා තම සතුරාගේ සුඛ වාසය නුරුස්නේ ය.

 

3. ‘මහණෙනි! අහෝ! මේ ධනවත් නොවන්නේ නම් මැනවැ”යි සතුරා සතුරා ගැන සිතන්නේ ය. කුමක් හෙයින් ද, සතුරා නම් සතුරාට ධනවත් බව නුරුස්නේ ය.

 

4. ‘මහණෙනි! අහෝ! මේ උපභෝග පරිභෝග වස්තු ඇත්තෙක් නො වන්නේ නම් මැනවැ’යි සතුරා සතුරා ගැන සිතන්නේ ය. කුමක් හෙයින් ද, මහණෙනි! සතුරා තම සතුරාගේ උපභෝග පරිභෝග වස්තු ඇති බව නුරුස්නේ ය.

 

5. ‘මහණෙනි! අහෝ! මේ යස පිරිවර ඇත්තෙක් නො වන්නේ නම් මැනවැ’ යි සතුරා, සතුරා ගැන සිතන්නේ ය. කුමක් හෙයින් ද, මහණෙනි! සතුරා තම සතුරා හට යස පිරිවර ඇති බව නුරුස්නේ ය.

 

6. ‘මහණෙනි! අහෝ! මේ මිත්‍ර‍යන් ඇත්තෙක් නොවන්නේ නම් මැනවැ”යි සතුරා, සතුරා ගැනැ සිතන්නේ ය. කුමක් හෙයින් ද, මහණෙනි! සතුරා තම සතුරාගේ මිත්‍ර‍යන් ඇති බව නුරුස්නේ ය.

 

7. ‘මහණෙනි, අහෝ! මේ මරණින් මතු ස්වර්‍ගයෙහි නූපදනේ නම් මැනවැ”යි සතුරා සතුරා ගැන සිතන්නේ ය. කුමක් හෙයින් ද, සතුරා තම සතුරා ගේ ස්වර්‍ගෝත්පත්තිය නුරුස්නේ ය. මහණෙනි! ක්‍රෝධශීලී පුද්ගලයා කයින් වචනයෙන් සිතින් දුශ්චරිත කරන්නේ ය. කොටැ කා බුන් මරණින් මතු අපායෙහි උපදින්නේ ය.

 

(4) ‘මහණෙනි! දෙ කොන ගිනි ඇවිළ ගත් මැද අසුචි වැකුණු සොහොන් පෙනෙල්ල ගමේ දර වැඩක් හෝ කැලේ දර වැඩක් හෝ නො කරන්නේ ය. මහණෙනි! මේ ක්‍රෝධශීලී පුද්ගලයා ද එ බඳු යැ’යි කියමි. (මේ යට දැක්වුණු දේශනා පාළියේ අර්‍ථයි)

 

මෙසේ ගැටෙත් ම වෑයම් කරත් ම ඉදින් ක්‍රෝධය සන්සිඳේ නම් මැනව. නොසන්සිඳේ නම් ඔහුගේ ශාන්ත පිරිසිදු-ප්‍ර‍සාදාවහ ගුණධර්‍ම ඇතහොත් ඒ සලකා සන්සිඳුවා ගත යුතු ය. ඇතැමකුගේ කාය සමාචාර ශාන්ත ය. වත් පිළිවෙත් කරන කල ඒ බව සියල්ලන්ට දැනගත හැකි ය. එහෙත් ඔහුගේ වාක්-මනස් සමාචාර අශාන්ත ය. අශාන්ත වූ ඒ වාක් - මනස් සමාචාර නො සිතා ශාන්ත වූ කායසමාචාර ම සිතිය යුතු ය. ඇතැමකු ගේ වාක් සමාචාර ශාන්ත ය. ඒ බව සියල්ලන් අතර ප්‍ර‍සිද්ධ ය. හේ ස්වභාවයෙන් ම පිළිසඳර කථායෙහි දක්‍ෂ ය. මෘදු ප්‍රිය වචන ඇත්තේ ය. මෙරමා සතුටු කරන්නේ ය. නිතර මුහුණ ප්‍රීති සහගත ය. කිසිවකු එළඹි විට තෙමේම පළමු වැ කථා උපදවයි. පරිපූර්‍ණ පද ව්‍යඤ්ජනයෙන් මධුර ස්වර නඟා දහම් දෙසන්නේ ය. එහෙත් ඔහුගේ කාය මනස් සමාචාර අශාන්ත ය. ඒ අශාන්ත කායමනස් සමාචාර නො සිතා ශාන්ත වාක්-සමාචාර ම සිතිය යුතු ය. ඇතැමකුගේ මනස්සමාචාර ශාන්ත ය. ඒ බව ඔහුගේ සෑ වැඳුම් ආදියෙහි දී සියල්ලන්ට දැනැ ගත හැකි ය. නො සන්සුන් සිත් ඇතියකු සෑ හෝ බෝ හෝ තෙරුන් හෝ වඳනා කල සකස් වැ නො වඳින්නේ ය. බණ අසන කල වික්‍ෂිප්ත වැ හෝ නිදි කිරමින් හෝ ඉන්නේ ය. සන්සුන් සිත් ඇතියා වඳනා කල කල්පනා සහිත වැ සකසා වඳින්නේ ය. කන් නමා අරුත් සලකා අන්තර් ජනිත ප්‍රීතිය කයින් හෝ වචනයෙන් හෝ ප්‍ර‍කාශ කරමින් අසන්නේ ය. එහෙත් ඔහු ගේ කාය - වාක් සමාචාර අශාන්ත ය. ඒ අශාන්ත කාය - වාක් සමාචාර නො සිතා ශාන්ත මනස්සමාචාරය ම සිතිය යුතු ය.

 

ඇතැමකුගේ මේ ත්‍රිවිධ සමාචාර ම අශාන්ත ය. එකකු දු ශාන්ත නැත එබන්දා කෙරෙහි ‘මේ අද මිනිස් වෙසින් හැසිරෙතත් ස්වල්ප දිනෙකින් අට මහ නිරා සොළොස් ඔසුපත් නිරා පුරන්නේ ය’යි කරුණා උපදවිය යුතු ය. කරුණාව නිසා ක්‍රෝධය සන්සිඳෙන්නේ ය.

 

ඇතමෙකු ගේ මේ ත්‍රිවිධ සමාචාර ම ශාන්ත ය. එයින් යමක් යමක් තමහට රිසිසේ නම් ඒ ඒ සලකා ක්‍රෝධය සන්සිඳුවා ගත යුතු ය. එබන්දා කෙරෙහි මෛත්‍රී වැඩීම දුෂ්කර නො වේ. මෙහි ලා අඞ්ගුත්තර පඤ්චක නිපාතයෙහි “පඤ්චිමෙ අවුසො ආඝාතපටිවිනයා යත්‍ථාභික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බා”[333] යනාදීන් වදාළ ආඝාතපටිවින සූත්‍ර‍ය විස්තර කළ යුතු යි.

 

මෙසේ වෑයම් කොටස් ඉදින් ක්‍රෝධය නො සන්සිඳේ නම් ඉක්බිති තමා ම මෙසේ අවවාද කැරැගත යුතු ය.

 

‘සතුරා ඔහු අයත් - තගෙ සිරුරෙ දුක් දෙන්නේ,

තෝ ඔහු අයත් නැති - සිතෙහි කිම දුක් දියටි වන්නේ!

 

හිතවත් මව් පිය - නෑ මිතුරන් හැරැ පියා

තමහට අහිතට වැටෙන - කෝ සතුරු නො හරනෙ කිම?

 

රකින හැම සිල් මුල් - කපා ලන කෝ සතුරා

ළෙලි ලා නලවන්නෙහි - තා වැනි ජඩයෙක් කවර?

 

ඔහු විසින් තා හට - නපුරක් කෙළෙ ය යි කිපෙහි

තෝ තමහට එබඳු - නපුරක් කරනු රිසියෙහි

 

තා රොස් කරන්නට - සතුරා ඒ නපුර කෙළෙ

රොස් වීමෙන් තමා - ඔහුගේ මන දොළ පුරනෙහි

 

කිපුමෙන් සතුරු හට - දුක් දිය හැකි වෙ නො හැකි වෙ

තෙමේ තමහට පළමු වැ - කෝ දුක් දී පෙළන්නේ

 

සතුරා කොවින් ඇඳ - අභිත මඟට වැටුණේ

තොද ඔහුට කිපීමෙන් - ඔහු අනුවැ යන්නේ වෙහි

 

යම් රොසෙකින් සතුරු - තා හට අවැඩ කෙළෙ නම්

ඒ රොස ම නසා ලව් - බලු මෙන් නො තැනැ නො වෙහෙස

 

යම් කඳෙකින් සතුරු - තා හට නපුරු කෙළෙ නම්

සැනෙකින් ඒ නැසී ගියෙ - දැන් කුමට රොස් කරනුයෙ

 

දුක් දෙන කෙනෙක් ඔහු - නැති වැ කා හට දුක් දෙති?

තෙමෙ ම දුකට හේතුවැ - කුමකට ඔහුට කිපෙනේ?

 

මෙසේ තම හට අවවාද කැරැ ගැන්මෙනුත් කෝපය නො සන්සිඳේ නම් ඉක්බිති තමා ගේ ද, සතුරා ගේ ද කර්‍මස්වකතාව සලකන්නේ මෙසේ ය:- ‘එම්බා! තෝ ඔහුට කිපී කුමක් කරන්නෙහි ද, තගේ මේ ද්වේෂ මූලක කර්‍මය තට ම අනර්‍ථ පිණිස වන්නේ නො වේ ද, තෝ කර්‍මය ස්වකීය කොටැ ඇත්තෙකි. කර්‍මය දායාද කොටැ ඇත්තෙකි. කර්‍මය උත්පත්තිස්ථාන කොටැ ඇත්තෙකි. කර්‍මය බන්‍ධු කොටැ ඇත්තෙකි, කර්‍මය පිළිසරණ කොටැ ඇත්තෙකි, තා කරන කර්‍මයට තෝ ම දායාද වන්නෙහි, තගේ මේ කර්‍මය සම්‍යක් සම්බෝධිය හෝ ප්‍රත්‍යෙක බෝධිය හෝ ශ්‍රාවක භූමිය හෝ බ්‍ර‍හ්මභාවය හෝ ශක්‍ර‍ භාවය හෝ චක්‍ර‍වර්ති භාවය හෝ ප්‍රදේශ රාජ්‍යාදි අතුරෙන් කිසි සම්පත්තියක් හෝ සිද්ධ කැරැ දෙන්නට සමර්‍ථ ද නැත. වැළි කුමක් කර දෙන්නට සමර්‍ථ ද, සස්නෙන් චුත කොටැ පියා විඝාසාදාදි භාවය හෝ නරකාදි දුක් හෝ සිද්ධ කැරැ ගන්නට සමර්‍ථ ය. මේ ක්‍රෝධ කරන තෝ දෑතින් ගිනි අඟුරු හෝ අසුචි හෝ ගෙනැ අන්හට දමා ගසන්නකු වැන්න, පළමු කොටැ තමා ම පලහා ලන්නෙහි ය. දුගඳ කැරැ ලන්නෙහි ය. මෙසේ තමාගේ කර්‍මස්වකතාව සැලකිය යුතු ය. සලකා ඉක්බිති අන්‍යයාගේ කර්‍මස්වකතාව සැලකිය යුතු ය.

 

එ මෙසේ ය :- ‘හේ කිපී තට කුමක් කරන්නේ ද, ඔහුගේ කිපුම ඔහුටම ය අනර්‍ථ පිණිස වන්නේ , හෙ ද තා සේම කර්‍මස්වකය, කර්‍මදායාදය, කර්‍මයොනීය, කර්‍මබන්‍ධු ය, ඔහුගේ කර්‍මය ඔහුට බුදු - පසේ බුදු - බුදුසව් පදවි හෝ බ්‍ර‍හ්ම - ශක්‍ර‍ - චක්‍ර‍වර්‍තති - ප්‍රදේශ රාජ්‍යාදි සම්පත් හෝ සිද්ධ කැරැ දෙන්නට සමර්‍ථ ද නැත. හුදෙක් ශාසනයෙන් බැහැරැ කොටැ පියා විඝාසාදාදි භාවය හෝ නරකාදි දුක් හෝ සිද්ධ කැරැ දෙන්නට ය සමර්‍ථ. තට මේ නපුර කරන හේ උඩු සුළඟට දූලි ගසාලන්නකු සේ තමාට ම දුක් පමුණුවා ගන්නේ ය. බුදුහු ද මේ වදාළෝ ය.

 

“යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති

සුද්ධස්ස පොසස්ස නිරඞ්ගනස්ස

තමෙච බාලං පච්චෙති පාපං

සුඛුමො රජො පටිවාතං ච ඛිත්තො”[334]

 

‘යමෙක් තමහට හෝ අන්හට හෝ ද්වේෂ නො කරන නික්ලේශ, නිරපරාධ පුරුෂයකු හට ද්වේෂ කෙරේ නම් උඩු සුළඟට ලූ සියුම් දූවිල්ල සේ පාපය අඥාන වූ ඔහු කරා ම පෙරළා එන්නේ ය.’

 

මෙසේ කර්‍මස්වකතා සැලකීමෙනුදු නො සන්සිඳේ නම් ඉක්බිති ශාස්තෘන්වහ්නසේගේ පූර්‍ව චරිත ගුණ සැලකීමෙන්වත් සන්සිඳුවා ගත යුතු ය.

 

ඒ මෙසේ ය :- ‘එම්බා තාගේ ශාස්තෘන් වහන්සේ බුදු වන්නට පෙර බොධිසත්ත්‍ව වැ ම සියුරාසැකි කප් සුවහසක් මුළුල්ලෙහි පාරමී පුරන සේක් ඒ ඒ ජාතීන්හි දී වධකයන් කෙරෙහිත් සතුරන් කෙරෙහිත් සිත දූෂ්‍ය නො කළ සේක් නො වෙද්ද, බලව.

 

සීලව ජාතකයෙහි :- සිය දේවියට වරද කළ දුෂ්ට ඇමැතියා විසින් ගෙන්වා ලූ සතුරු රජා තුන්සිය යොදුන් රාජ්‍යය පැහැරැ ගනුත් ඒ වළකන්නට නැඟී ආ ඇමැතියනට ආයුධයක් අල්ලන්ට ද නුදුන් සේක. නො දී දහසක් ඇමැතියන් සමග අමුසොහොනේ කර වරක් බිම සිටුවා පස් ගසන ලද සේක් චිත්ත දූෂ්‍ය මාත්‍ර‍යකුදු නො කොටැ කුණප කනු පිණිස පැමිණි සිවල් බල්ලන් ලවා පුරුෂොත්සාහයෙන් පස් බුරුල් කරවා ගෙනැ දිවි ලැබැ යක්ෂානුභාවයෙන් ස්වකීය සිරි යහප් ගබඩාවේ බැසැ සිරි යහනේ වැදැහොත් සතුරු රජා දැක කෝපයට නො පැමිණැ ඔවුනොවුන් දිවුට මිත්‍ර‍ත්‍වයේ පිහිටුවා මෙසේ කී සේක :-

 

“ආසිංසෙථෙව පුරිසො - න නිබ්බින්‍දෙය්‍ය පණ්ඩිතො

පස්සාමි වොහං අත්තානං - යථා ඉච්ඡිං තථා අහුං” යි.

 

‘පිරිමියෙක් නම් අභිමතාර්‍ථ සිද්ධිය ආශංසා කරන්නේ මය. නුවණැත්තේ නම් (මෙසේ දුකට පැමිණි පසු සුවයෙක් කොයින් වේ දැ යි) නො කළකිරෙන්නේ ම ය. යම් ආකාරයෙකින් කිසිවකුහට පීඩා නො කොටැ රජයෙහි පිහිටුවීමට මම් කැමැති විම් ද ඒ ආකාරයෙන් ම මම් දකිමි’ යනු අර්‍ථ යි.

 

ක්‍ෂාන්තිවාදී ජාතකයෙහි :- නුවණ නැති කසී රජ ‘මහණ තෝ කිනම් වාදී දැ’යි පුළුවුත් කල ‘මම ක්‍ෂාන්ති වාදිමි’යි කී කල කටු සැමිටියෙන් තළා අත් - පා කපතුදු කෝප මාත්‍ර‍යක් නො කළ සේක.

 

මහලු තවුසෙක් වැ එසේ කෙළේ ය. යනු ආශ්චර්‍ය්‍යයෙක් ද, චුල්ලධම්මපාල ජාතකයෙහි - උඩු බැලිවැ හෝනා ළදරුවා

 

‘මුළු පොළොවට හිමි

දහම්පල් කුමරුගෙ මේ

සඳුනලෙව් අත් සිඳැ ලති

මා පණ නැසෙයි නිරිඳුනි’යි

 

කියමින් සිය මෑණියන් වලපිද් දී, මහාප්‍ර‍තාප නම් පිය නිරිඳුන් හුණ කිළිල් සේ සිය අත් පා සිඳ ලවද්දී, එතෙකිනුදු සතුටු මඳ වැ ‘මුගේ හිස සිඳුව’යි අණ දුන් කල ‘ධර්‍මපාලය! දැන් ය තගේ සිත නිගන්නට කල. එම්බා! හිස සිඳින්නට අණ ලූ පියාණන් කෙරෙහි ද, හිස සිඳිනා වධකයා කෙරෙහි ද, වලප්නා මෑණියන් කෙරෙහි ද, තා කෙරෙහි ද, සමසිත් වඩව’යි දැඩි වැ ඉටා ගෙනැ දූෂිත මාත්‍ර‍යකුදු නො කළ සේක.

 

මනුෂ්‍ය වැ සිට මෙසේ කෙළේ ය යනු ආශ්චර්‍ය්‍යයෙක් ද, තිරිසන් කල ඡද්දන්ත නම් ඇත් රජ වැ විස පෙවූ ශරයෙන් නැබ විදුතුදු ඒසා අනර්‍ථකාරි වැදි කෙරෙහි ද චිත්ත දූෂ්‍ය නොකළ සේක.

 

කීයේ මැයි.

 

විස පෙවු හියෙන් විදුනා ලද සඳත් ඇ   තා

මඳකුදු නො කිපි විදි වැදිගෙන් මෙ පිළිවි තා

‘කුමකට මිතුර විදියෙ ද, මට මෙ ලෙස මෙ   තා

කවුරුන් දුන් ද මෙ නියෝ තට කුමක් ප තා

 

යි ඇසූ කල ‘හිමි! කසී රජ මෙහෙසී විසින් ඔබ දළ සඳහා එවන ලද්දෙමි’යි කී කල ඔහු ගේ මනදොළ පුරමින් සවනක් රස් විහිදෙන - දිලි දිලී බබලන සිය දළ කපා දුන් සේක.

 

කපි ජාතකයෙහි :- වඳුරු රජ වැ තමන් විසින් ම පර්‍වත ප්‍ර‍පාතයෙන් නඟාලු පුරුෂයා

 

‘වෙන වනමුවන් සෙ - මෙද මිනිසුන්ගෙ බොජුන ය,

සයින් පෙළෙමි මෙ වඳුරු - මරා කෑයෙ නම් සොඳුරු,

මුගෙ මසින් අසිත වැ - සෙසු මස් සම්බලට ගෙනැ

කතර එතර කරමි මම - ඒ මට මං උචාරණ’

 

යි සිතා ගලින් ඇනැ හිස පැළු කල කඳුළු පිරුණු ඇසින් ඔහු දසා බලා

 

‘පින්වත! ඔබ මගේ - හිමි වැද මට කෙළෙ මෙසේ

කළ යුතු වූයෙ දිගා ! - අනුන් මෙයින් වැලකුම ය’

 

යි කියා ඔහු කෙරෙහි සිත දූෂ්‍ය නො කොටැ තමන්ගේ ද දුක නො සලකා ඔහු ක්‍ෂෙම භූමියට පැමිණ වූ සේක.

 

භූරිදත්ත ජාතකයෙහි :- භූරිදත්ත නම් නා රජ වැ පෙහෙවස් ඉටා තුඹස මත හෝනා කල කප් ගිනි බඳු ඔසුයෙන් මුළු සිරුර ඉසිතුදු පේළායෙහි ලා මුළු දඹදිව කෙළවතුදු ඒ ආලම්බන නම් බමුණා කෙරෙහි චිත්ත දූෂ්‍ය මාත්‍ර‍යකුදු නො කළ සේක.

 

කීයේ මැ යි :-

 

‘පේළායෙහි ලතුදු - අතින් මුළු ඇඟ මඩුතුදු

සිල් කැඩෙති යන බියෙන් - අලමුනු කෙරෙහි නොකිපෙම්’යි

 

චමේපය්‍ය ජාතකයෙහි :- චමේපය්‍ය නම් නා රජ වැ අභිතුණ්ඩිකයා විසින් පෙළනු ලබන සේක් ස්වල්ප වූ ද චිත්ත දූෂ්‍යයකට නො පැමිණි සේක.

 

කීයේ මැ යි :-

 

‘එදා ද මා පෙහෙ වැ - සිල් රක්නා කල තොසින්

අහිතුංඩික මා ගෙනැ - රජ මැදුර මැද කෙළවා

නිල්-රන්-රතු-සුදු-මඳෙට ඈයම් පැහැයක්

හේ රිසි වූ යෙ ද එසේ - වන්නෙමි ඔහු සිතූ ලෙසට

මම කිපියෙම් නම් - ගොඩ දිය, දිය ගොඩ කරම්

මෙ මුළු පොළොව සැණෙකින් - හලු කැරැලමි තෙදෙන් මගෙ

එසේ කෙළෙ නම් මම - සීලයෙන් පිරිහෙන්නේ

සීලයෙන් පිරිහුණු කල - බුදු බව නොම ලැබෙන්නේ’

 

සඞ්ඛපාල ජාතකයෙහි - සඞ්ඛපාල නම් නා රජ වැ තියුණු තෙබින් අට තැනෙක විදැ පියා විදැ පූ මුඛයෙහි කටු සහිත වේවැල් බලා ලා නැහැය විදැ තද රැහැනක් දමා ලා භෝජ පුතුන් සොළොස් දෙනා කද බැඳ ගෙනැ යන කල්හි බර වැඩි බැවින් සිරුර පොළොමේ ගැටෙත් ගැටෙත් තද වේදනා ඇති කල්හි කිපී බැලූ පමණෙකින් ඒ සියල්ලන් අළු කැරැ ලන්ට පොහොසත් වුව ද ඇස දල්වා බලා ද්වේෂ මාත්‍ර‍යනකුදු නො කළ සේක. කීයේ මැ යි:-

 

‘තුදුස් පසළොස් වක - පෙහෙවස් වසමි නිරතුරු

වැදි පුත්හු සොළොස් දෙන - රැහැන් මල ගෙනැ ආවෝ

නැහැය විදා ලා මගෙ - රැහැන ලා ඇරැ ගෙනැ ගියො

ඒ සා දුක් මම ඉවසම් - ඉටා ගත් සිල් නො නසම්

 

මෙතෙක් ද මාතුපෝසක ජාතකයෙහි තව ද නොයෙක් අසිරිමත් දේ කළ සේක. දැන් සර්‍වඥතාඥානයට පැමිණර දෙවියන් සහිත ලෝකයෙහි කිසිවකු හා අසමාන ක්‍ෂාන්ති ගුණ ඇති ඒ භගවත් ශාස්තෘන් වහන්සේ අදහන තා විසින් ක්‍රෝධ සිතක් ඉපදවීම ඉතා ම අයුතු ය, නුසුදුසු ය.

 

මෙසේ ශාස්තෘන් වහන්සේ ගේ පූර්‍ව චරිත ගුණ සිහි කරතුදු බොහෝ කලක් කෙලෙසුනට දාස වූ ඔහුගේ ක්‍රෝධය නො සන්සිඳේ නම් ඉක්බිති අනමතග්ගිය සූත්‍ර‍ සිහි කළ යුතු.

 

ඒ මෙසේ ය:-

 

“න සො භික්ඛවෙ සත්තො සුලභරූපො යො න මාතා භුතපුබ්බො-යො න පිතා භුතපුබ්බො - යො න භාත-යො න භගිනි යො න පුත්තො-යො න ධීතා භුතපුබ්බො”[335] ‘මහණෙනි! පෙර මව්පියන් නො වූ, සහෝදර සහෝදරී නො වූ පුත්‍ර‍ දුහිතෘ නො වූ සත්ත්‍වයෙක් ලැබැ ගත හැකි නොවේ’ ය යි බුදුහු වදාළහ. එ බැවින් මේ පෙර මට මවු වැ දස මසක් කුසින් උසුලා මළ මූ සෙම්-සොටු ඈ සඳුන් සේ නො පිළිකුල් වැ පහ කරමින් ළෙහි ලා නටමින් ඇකයෙන් වඩා ගෙනැ පෝෂණය කෙළේ ය. පිය වැ අජපථ සංකුපථාදියෙහි ගොස් වෙළඳාම් කරමින්, මා නිසා දිවි ද නො තකා යුද බිම් වැදැ යුද කරෙමින්, නැවින් මුහුදු යමින්, තව ද නොයෙක් සිය ගණන් දුෂ්කර ක්‍රියා කරමින් ‘පුතු රැක ගනිමි’යි නොයෙක් උපායයෙන් ධන රැස් කෙරෙමින් මා පෝෂණය කෙළේ ය. සහෝදර-සහෝදරී වැ පුත්‍ර‍ දුහිතෘ වැ මේ සැටියෙන් උපකාර කෙළේ ය. ඔහු කෙරෙහි සිත දූෂ්‍ය කැරැ ගැන්ම නුසුදුසු ය යි සිතා ක්‍රෝධ සංසිඳුවා ගත යුතු.

 

එසේත් සිත නො නිවේ නම් මෙත්තානිසංස සිහි කළ යුතු ය. ඒ මෙසේ ය:- එම්බා! බුදුන් විසින් “මෙත්තාය භික්ඛවෙ වෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්‍ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකංඛා, කතමෙ එකාදස? සුඛං සුපති, සුඛංපටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියොහොති, අමනුස්සානං පියොහොති, දෙවතා රක්ඛන්ති, නාස්ස අග්ගිවා විසංවා සත්‍ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණො විප්පසීදති, අසම්මුළෙහා කාලං කරොති, උත්තරිං අප්පටි විජ්ඣන්තො බ්‍ර‍හ්මලොකූපගොහොති[336] යි මෛත්‍රියෙහි අනුසස් වදාළේ නො වේ ද, ඉදින් තෝ සිත නො සන්සිඳුවා ගන්නෙහි නම් මේ අනුසස් වලින් බැහැර වන්නෙහි ය.

 

මෙසේ මෙත්තානිසංස සිහි කොටත් සිත නො නිවේ නම් ධාතු විනිර්භෝගය කට යුතු ය. ඒ මෙසේ ය:- ‘එම්බා! තෝ ඔහුට කිපෙමි’යි කියා කුමකට කිපෙන්නෙහි ද, කිම කෙසට කිපෙන්නෙහි ද, නැත ලොමට කිපෙන්නෙහි ද, නියට කිපෙන්නෙහි ද, -පෙ- මූත්‍ර‍යට කිපෙන්නෙහි ද, එසේත් නො වේ නම් ඒ කෙස් ආදියෙහි පවත්නා පෘථුවිධාතුවට කිපෙන්නෙහිද, අබ්ධාතුවට කිපෙන්නෙහි ද, තේජෝ ධාතුවට කිපෙන්නෙහි ද, වායු ධාතුවට කිපෙන්නෙහි ද ස්කන්‍ධ පස ද, ආයතන දොලොස ද, ධාතු අටලොස ද නිසා පවත්නා හට මේ නම් ඇත්තෙකැයි කියති. කිම? තෝ එයින් රූපස්කන්‍ධයට කිපෙන්නෙහි ද, නැතහොත් වේදනා ස්කන්‍ධයට කිපෙන්නෙහි ද, සංඥා - සංස්කාර - විඥාන ස්කන්‍ධයට කිපෙන්නෙහි ද, කිම තෝ චක්ඛායතනයට කිපෙන්නෙහිද, -පෙ- ධම්මායතනයට කිපෙන්නෙහි ද, කිම තෝ චක්ඛු ධාතුවට කිපෙන්නෙහි ද, -පෙ- මනො ධාතුවට - ධම්ම ධාතුවට - මනොවිඤ්ඤාණ ධාතුවට කිපෙන්නෙහි ද, මෙසේ ධාතු විනිර්‍භොගය කරත් හිදි අගැ අබ සේ අහසැ සිත්තම සේ ක්‍රෝධයට ප්‍ර‍තිෂ්ඨා ස්ථානයෙක් නො වන්නේ ය.

 

ධාතු විනිර්‍භොගය කරන්නට බැරි අය විසින් දාන සංවිභාගය කටයුතු. තමාසතු දේ ඔහුට දිය යුතු. ඔහු සතු දේ තමා ගත යුතු. ඉදින් ඔහුගේ ආජීවය අපිරිසිදු නම් ඔහු අයත් පිරිකර පරිභෝගයට නුසුදුසු යයි සිතේ නම් තමා සතු දේ ම ඔහුට දිය යුතු. එසේ කරත් ඒකාන්තයෙන් ඔහු කෙරෙහි පැවති ක්‍රෝධය සන්සිඳෙන්නේ ය. ඔහුගේ ද ජාත්‍යන්තයේ පටන් පැවත එන ක්‍රෝධයක් වුවද එකෙණෙහි ම සන්සිඳෙන්නේ ය.

 

‘පෙර සිතුල්පව් වෙහෙර පිණ්ඩපාතික ස්ථවිර කෙනෙක් වූහ. අන්‍ය ස්ථවිර කෙනෙකුන් විසින් ඔහු තුන් වරක් සෙනසුනින් නෙරපන ලදහ. ඔහු කහවනු අටක් වටිනා පාත්‍ර‍යක් ගෙනවුත් ‘ස්වාමීනි! මෙය මගේ මෑණියන් විසින් මට දෙන ලද්දේ ය. ධාර්‍මමික ලාභයෙකි. මෑණියන්ට පින් පිණිස මේ ගත මැනවැ’යි කියා ඒ අර ස්ථවිරයන්ට දුන්හ. ඔවුන්ගේ ක්‍රෝධය එයින් සන්සිඳිණි. දීමෙහි ආනුභාව මහති.

 

වදාළේ මැ යි.

 

“අදන්තදමනං දානං - දානං සබ්බත්‍ථ සාධකං

දානෙන පියවාචාය - උන්නමන්ති නමන්ති ච”යි.

 

‘දානය නො දැමුණුවන් දමනය කරන්නේ ය. සියලු අර්‍ථ සිද්ධ කරන්නේ ය. දානයෙන් ද ප්‍රිය වචනයෙන් ද දායකයෝ උසස් වෙති. ප්‍ර‍තිග්‍රාහකයෝ යටත් වෙති.

 

මෙසේ ක්‍රෝධය සන්සිඳෙත් ප්‍රිය-අතිප්‍රිය-සහාය-මධ්‍යස්ථයන් කෙරෙහි මෙන් ඒ වෛරී පුද්ගලයා කෙරෙහි ද සිත මෛත්‍රී වශයෙන් පවතී. එවිට ඔහු පුන පුනා මෙත් කොටැ සීමාසම්භේදය කළ යුතු තමා කෙරෙහි ද ප්‍රියයා කෙරෙහි ද, මධ්‍යස්ථයා කෙරෙහි ද සමත සිත් ඉපදවීම සීමාසම්භේදය යි.

 

එහි ලක්‍ෂණ මෙසේ ය:- තෙමේ ය, ප්‍රියයා ය, මධ්‍යස්ථයා ය, සතුරා ය යන සිව් දෙන එක් තැනෙක වසති සොර මුළෙක් එහි අවුත් ‘මෙයින් එකකු අපට දෙව’ යි මෛත්‍රී භාවකයාගෙන් ඉල්ලති. ‘කුමට දැ’ යි ඇසූ කල ‘මරා ගෙල ලේ ගෙනැ බිල්ලට දීමට යයි කියති. එවිට ඔහු අසවලා ගෙන යෙත්වා’ යි සිතුණේ නම් සීමාසම්භේදය කෙළේ නො වේ ‘මා ගෙනැ යෙත්වා මෙවුන් ගෙනැ නො යෙත්වා’ යි සිතුණේ නම් එවිට ද සීමාසම්භේදය කෙළේ නො වේ. කුම් හෙයින් ද ‘යමකු ගෙනැ යෙත්වා’යි සිතුණේ නම් ඔහු කෙරෙහි අහිතෙසී ය. සෙස්සන් කෙහි හිතේසී ය. ඉදින් සතර දෙනා කෙරෙහි ම සම සත් නම් එවිට සීමාසම්භේදය කෙළේ වේ.

 

කීයේ මැ යි පෞරාණිකයන් විසින්-

 

“අත්තනි හිත මජ්ඣත්තෙ - අහිතෙ ච චතුබ්බිධෙ

යදාපස්සති නානාත්තං - හිතචිත්තො ච පාණිනං

න නිකාමලාභී මෙත්තාය - කුසලීති පවුච්චති.

යදා චතස්සො සීමායො - සමහින්තා හොන්ති භික්ඛනො

සමං ඵරති මෙත්තාය - සබ්බං ලොකං සදෙවකං

මහාවිසෙසො පුරිමෙන - යස්ස සීමා න ඤායති”යි.

 

‘යමෙක් යම් කලෙක තෙමේ ය, හිතවතා ය, මැදහත් වූයේ ය, සතුරා ය යන සතර දෙනා කෙරෙහි ‘මේ මම ය, මේ හිතවත් ය’ යනාදි වශයෙන් වෙසෙස දක්නේ ද, හේ එකල සත්ත්‍වයන් කෙරෙහි සිත් ඇත්තෙකැ’යි කිය යුතු ය. නියම මෛත්‍රී ලාභියෙක සාතිශය කුසල් ඇතියෙකැයි නො කිය යුතු ය.

 

යම් කලෙක ඔහු විසින් යථෝක්ත සතර සීමා බිඳින ලද ද, එකල හේ දෙවියන් සහිත ලෝකයෙහි සමසේ මෙත් පතුරු වන්නේ ය. යමෙකුට මේ මමය මේ හිතවත් ය යනාදි වශයෙන් සීමා නො හැඟේ ද හේ පූර්‍වයාට වඩා මහත් භාවනා විශේෂ ඇත්තෙක් වන්නේ ය, යනු අර්‍ථ යි.

 

මෙසේ සීමාසම්භේදය ලබත් ම ඒ යෝගී නිමිත්ත ද උපචාර ද ලැබුයේ වේ. (‘මිහි වනාහි කිසුණු කමටහන් ආදියෙහි මෙන් උද්ග්‍ර‍හ නිමිති වත්, ප්‍ර‍තිභාග නිමිති වත් වැටහෙන්නේ නො වේ. ඒ සීමාසම්භේදය නිමිත් ලද කල භාවනාව සාතිසය වන බැවින් නීවරණයෝ ද විෂ්කම්භිත වෙති. කෙලෙස්හු ද සන්සිඳෙන ලද්දාහු වෙති. උපචාර සමාධින් සිත් ද සමාහිත වෙයි’ යනු සන්නයි.) සීමාසම්භේදය ලත් කල ඒ නිමිත්තම සෙවුණේ වඩන්නේ බිහිලි කරන්නේ නිරායාසයෙන් පඨවිකසිණයෙහි කී පරිදි අර්පණාවට පැමිණෙන්නේ ය’ මෙ තෙකින් ඒ යෝගී පඤ්චාඞ්ග විප්‍ර‍හීණ, පඤ්චාඞ්ග සමන්විත, ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්‍ෂණයෙන් යුක්ත මෛත්‍රී සහගත ප්‍ර‍ථම ධ්‍යානය ලැබුයේ වේ. ලැබැ ඒ නිමිත්ත ම සෙව්මින් වඩමින් බිහිලි කරමින් පිළිවෙළින් චතුස්කනය පරිදි ද්විතීය - තෘතීය ධ්‍යානයන්ට ද, පඤ්චකනය පරිදි ද්‍විතීය - තෘතීය - චතුර්‍ථ ධ්‍යානයන්ට ද පැමිණෙන්නේ ය. ප්‍ර‍ථම ධ්‍යානාදීන් අතුරෙන් කිසියම් ධ්‍යානයෙක සිටැ “මෛත්‍රී සිතින් එක් දිශාවක් පතුරුවා වසන්නේ ය. එසේම දෙවන - තෙවන - සතර වන දිශා ද උඩ යට සිරස ද සියලු තන්හි සර්වාත්මතායෙන් සර්‍වවත් ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍ර‍මාණ වූ අවෛර වූ අව්‍යාපජ්ජ වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වසන්නේ ය” මේ විකුබ්බණය ලැබෙන්නේ ප්‍ර‍ථම ධ්‍යානාදි වශයෙන් අර්පණාප්‍රාප්තයට ම ය. විකුබ්බණ නම් මෙහි දැක්වූ ඔධිසො - අනොධිසො මෙත් පැතිරවීම ය.

 

එහි විස්තරය මෙසේ ය.

 

මෛත්‍රී සහගත සිතින් = මෛත්‍රියෙන් යුක්ත වූ සිතින්

 

එක් දිශාවක් = එක් දිශාවෙක පළමු අරමුණු කළ සත්ත්‍වයා පටන් ඒ දිශාවෙහි ඇතුළත් සත්ත්‍වයන් (“තත්‍ර‍ස්ථායෙහි තදුපචාරයෙන් ඒ ඒ දික්හි සිටි සත්හු යනු සන්නයි.)

 

පතුරුවා = අරමුණු කොටැ

 

වසන්නේ ය = බ්‍ර‍හ්ම විහාරාධිෂඨික ඉරියව් පවත්නේ ය. මෛත්‍රී ධ්‍යානයට සම වැදැ ඉරියව් පවත්නේ ය යි සේ යි.

 

එසේ දෙවන - තෙවන - සතරවන දිශා ද = නැගෙනහිර ආදීන් අතුරෙන් යම් එක් දිශාවෙක යම් සේ පතුරුවා වසන්නේ ද, එසේ ඊට ඉක්බිති දෙවන දිශා ආදියෙහි ද පතුරුවා වසන්නේ ය.

 

උඩ ද = මෙයින් දෙව්ලොව, යම් කිසි තැකෙ හෝ තමහට මතුයෙහි සත්ත්‍වයන් ගත්හු.

 

යට ද = මෙයින් නිරය නාගභවනාදි තමහට යට දිග සත්ත්‍වයන් ගත්හ.

 

සරස ද = මෙයින් අනුදිශා ගත්හ. මෙසේ අස්මඬුල්ලෙහි අසුමෙන් සියලු දිශාවන්හි මෛත්‍රී සහගත සිත පතුරුවන්නේ ය. මෙසේ එක් එක් දිශා ගැන්මෙන් ඔධිසොඵරණ මෛත්‍රිය දක්වන ලදී. ඔධිසොඵරණ නම් සීමා වෙන් කොටැ පැතිරවීම ය.

 

සියලු තන්හි සර්‍වාත්මතායෙන් සර්‍වවත් ලෝකය විපුල වූ මහත් වූ අප්‍ර‍මාණ වූ අවෛර වූ අව්‍යාපජ්ජ වූ මෛත්‍රී සහගත සිතින් පතුරා වසන්නේ ය = මෙයින් අනොධිසො ඵරණ මෛත්‍රිය දක්වන ලදී. එහි දු ‘සියලු තන්හි’ යන්නෙන් එක් දෙශ වශයෙන් ද ‘සර්‍වාත්මතායෙන්’ යන්නෙන් සත්ත්‍ව වශයෙන් ද අනොධිසොඵරණය දක්වන ලදැ යි දත යුතු. අනොධිසොඵරණ නම් සීමා රහිත වැ පැතිරවීම යි එහි

 

සර්‍වාත්මතායෙන් යනු ‘මේ ස්වකීය ය මේ පරකීය ය’ යන භෙද නැති වැ හීන-මධ්‍යම උත්කෘෂ්ඨ වූ ද, මිත්‍ර‍-වෛරී-මධ්‍යස්ථ වූ ද, සියලු සතුන් කෙරෙහි තමා හා සමත්‍වයෙන් යන අර්‍ථ යි. නොහොත් මුළු හිතින් - මඳකුදු බැහැර නො ගිය සියලු චිත්ත භාගයෙන් යන අර්‍ථ යි.

 

සර්‍වවත් ලෝකය = සියලු සත්ත්‍වයන් ඇති ලෝකය

 

විපුල වූ = ඵරණ වශයෙන් හෙවත් පැතිරවීම වශයෙන් විපුල වූ

 

මහද්ගත වූ = භූමි වශයෙන් මේ මහද්ගත යි.

 

අප්‍ර‍මාණ වූ = ප්‍ර‍ගුණ වශයෙන් ද, අප්‍ර‍මාණ සත්ත්‍වයන් අරමුණු කිරීම් වශයෙන් ද අප්‍ර‍මාණ වූ

 

අවෛර වූ = ව්‍යාපාද නමැති සතුරා දුරු කිරීම් වශයෙන් අවෛර වූ

 

අව්‍යාපජ්ජ වූ = දොම්නස් ප්‍ර‍හාණය කරන හෙයින් අව්‍යාපජ්ජ වූ නිදුක් වූ ය යි සේයි. (සිත්හු ව්‍යාපත්ති වශයෙන් හනනය කරන හෙයින් දොම්නස් ව්‍යාපජ්ජ නම් වේ යනු සන්න යි.)

 

‘මෛත්‍රී සහගත සිතින්’යි නැවත කීයේ ‘විපුල වූ’ යනාදි පර්‍ය්‍යාය විශේෂණ ගත් හෙයිනි, නොහොත් ඔධිසොඵරණයෙහි මෙන් ‘එසේ’ යන පදයක් නො ගත් හෙයිනි. නිගමන වශයෙන් හෝ කියන ලදැ යි දත යුතු. (නිගමන නම් අවශාන නිශ්චය යි.)

 

මෙහි මෙන් ම පටිසම්භිදායෙහි දැක්වුණු විකුබ්බණාව ද ලැබෙන්නේ අර්පණා ප්‍රාප්තයාට ම ය. පටිසම්භිදායෙහි පස් ආකාරයෙකින් අනෝධිසොඵරණ මෙත්තා චේතෝ විමුත්තිය ද, සත් ආකාරයෙකින් ඔධිසොඵරණ මෙත්තා චේතෝ විමුත්තිය ද, දශ ආකාරයෙකින් දිසා ඵරණ මෙත්තා චේතෝ විමුත්තිය ද, දක්වන ලද්දේ ය. එයින්

 

පඤ්චවිධ අනෝධිසො ඵරණ මෙත්තා චේතෝ විමුත්තිය මෙසේ ය.

 

1.  සියලු සත්ත්‍වයෝ අවෛර වෙත්වා අව්‍යාපජ්ජ වෙත්වා අනීඝ වෙත්වා සුව සේ ආත්ම පරිහරණය කරත්වා.

2.  සියලු ප්‍රාණීහු -පෙ-

3.  සියලු භූතයෝ -පෙ-

4.  සියලු පුද්ගලයෝ -පෙ-

5.  සියලු ආත්මභාව පර්‍ය්‍යාපන්නයෝ -පෙ- සුව සේ ආත්ම පරිහරණය කරත්වා.

 

මෙහි සියලු යන්නෙන් එකකු දු සේස නො කොටැ ගැන්ම කීය.

 

සත්ත්‍වයෝ නම් = රූපාදි ස්කන්‍ධයන්හි ඡන්‍දරාග වශයෙන් සක්තයෝ ය විසක්තයෝ ය. ඇළුණෝ යයි සේ යි. “රූපෙ ඛො රාධ යො ඡන්‍දො - යො රාගො- යා නන්‍දි-යා තණ්හා තත්‍ර‍ සත්තො සඤ්ඤාය -පෙ- සංඛාරෙසු -පෙ- විඤ්ඤාණෙසු - වුච්චති”[337] යනුවෙන් බුදුහු ද මේ වදාළෝ ය. අර්‍ථ සුගම යි. එසේ නම් රහත්හු මෙහි ලා නො ගැනෙත් ද, හුණ පතුරින් කළ වීජනියෙහි ද තල්වැටය යන ව්‍යවහාරය සේ රූඪි වශයෙන් රහත්හු ද ගැනෙති. ව්‍යාකරණකාරයෝ යට කියූ සේ අර්ථ විචාරණ නො කොටැ සත්ත්‍ව යනු අව්‍යුත්පන්න නාම මාත්‍ර‍ - යෙකැයි කියති. අර්ථ විචාරණය කරන්නෝ සත්ත්‍ව ගුණයෝගයෙන් සත්ත්‍වයයි කියත්. සත්ත්‍ව ගුණ නම් බුද්ධි-වීර්‍ය්‍ය-තේජස් ය.

 

ප්‍රාණීහු නම් = ජීවත් වන්නෝ ය. ජීවත් වීම නම් ආශ්වාස ප්‍ර‍ශ්වාසයෙන් යුක්ත බව ය.

 

භූතයෝ නම් = කර්‍ම-ක්ලේශ දෙකින් උපන්නෝ ය.

 

පුද්ගලයෝ නම් = නිරයට යන්නෝ ය. ‘පුංවුච්චති නිරයො තසමිංගලන්තී ති -පුග්ගලා’. ‘පු’ යි නිරය කියනු ලැබේ. එහි ගලන්නෝ - යන්නෝ පුද්ගලයෝ ය.

 

ආත්මභාව පර්‍ය්‍යාපන්නයෝ = යන මෙහි ආත්මභාව නම් ශරීර යි හෙවත් ස්කන්‍ධ පඤ්චක යි. පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වුවද සම්මුති වසයෙන් විද්‍යාමාන බැවින් ඒ ආත්ම භාවයෙහි ඇතුළත් වූවෝ ආත්මභාව පර්‍ය්‍යාපන්නයෝ ය.

 

සත්ත්‍ව යන වචනය සේ ම සෙස්ස ද රූඪි වසයෙන් සලකා මේ සියලු වචන සියලු සත්ත්‍වයනට පර්‍ය්‍යාය වචන යයි දතයුතු. තව ද ජන්තු-ජීව ආදි අන්‍ය පර්‍ය්‍යාය වචන ඇත ද ප්‍ර‍කට වශයෙන් පවත්නා මේ පස ම ගෙනැ පස් ආකාරයෙකින් අනොධිසොඵරණ මෙත්තා චේතෝවිමුත්තිය දක්වන ලදී. ඉදින් යමෙක් සත්ත්‍ව-ප්‍රාණ යනාදියෙහි වචන මාත්‍ර‍ වශයෙන් නොවැ අර්ථ වශයෙන් ද වෙනස ගන්නට කැමති නම් ඔහුට අනොධිසො ඵරණය නො ලැබෙන බව දත යුතු. එහෙයින් එසේ වෙනස් අර්ථ නො ගෙනැ මේ දැක්වුණු පස් ආකාරයෙන් ඒකක වසයෙන් අනොධිසො මෛත්‍රිය පැතිරවිය යුතු.

 

මෙහි දු ‘සියලු සත්ත්‍වයෝ අවෛර වෙත්වා’ යනු එක් අර්පණාවෙක. ‘අබ්‍යාපජ්ජවෙත්වා’ යනු එක් අර්පණාවෙක. (අබ්‍යාපජ්ජ නම් ව්‍යාබාධ රහිත බව යිත) ‘අනීඝ වෙත්වා’ යනු එක් අර්පණාවෙක. සුව සේ ආත්මපරිහරණය කෙරෙත්වා’ යනු එක් අර්පණාවෙක. එබැවින් මේ පද අතුරෙන් යම් යම් පදයෙක් තමහට ප්‍ර‍කට වේ ද, ඒ ඒ පද ගෙනැ මෛත්‍රී පැතිරවිය යුතු. මේ පස් ආකාරයෙහි අර්පණා සතර වශයෙන් අනොධිසො ඵරණයෙහි අර්පණා විස්සෙකැයි දත යුතු.

 

සප්තවිධ ඔධිසො ඵරණ මෙත්තා චේතෝ විමුත්තිය මෙසේ ය.

1.  සියලු ස්ත්‍රීහු අවෛර වෙත්වා. අබ්‍යාපජ්ජ වෙත්වා. අනීඝ වෙත්වා සුවසේ ආත්ම පරිහරණය කෙරෙත්වා.

2.  සියලු පුරුෂයෝ -පෙ-

3.  සියලු ආර්‍ය්‍යයෝ -පෙ-

4.  සියලු අනාර්‍ය්‍යයෝ -පෙ-

5.  සියලු දෙවියෝ -පෙ-

6.  සියලු මනුෂ්‍යයෝ -පෙ-

7.  සියලු විනිපාතිකයෝ අවෛර වෙත්වා. අබ්‍යාපජ්ජ වෙත්වා. අනීඝ වෙත්වා සුවසේ ආත්ම පරිහරණය කෙරෙත්වා.

 

මේ ඔධිසො ඵරණ පිළිබඳ සත් ආකාරයෙහි සතර සතර වසයෙන් අර්පණා අට විස්සෙකි. මෙහි ස්ත්‍රීහු ය පුරුෂයෝ ය යනු ලිඞ්ග වශයෙන් කියන ලදී. ආර්‍ය්‍යයෝ ය අනාර්‍ය්‍යයෝ ය යනු ආර්‍ය්‍ය-පෘථග්ජන වශයෙන් කියන ලදී. දෙවියෝ ය මනුෂ්‍යයෝ ය යනු උත්පත්ති වශයෙන් කියන ලදී.

 

දශවිධ දිසා ඵරණ මෙත්තා චේතෝ විමුත්තිය මෙසේය.

1.  පෙරදිග සියලු සත්ත්‍වයෝ අවෛර වෙත්වා. අබ්‍යාපජ්ජ වෙත්වා. අනීඝ වෙත්වා සුවසේ ආත්ම පරිහරණය කෙරෙත්වා.

2.  පෑළදිග සියලු සත්ත්‍වයෝ -පෙ-

3.  උතුරු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-

4.  දකුණු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-

5.  පෙර අනු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-

6.  පෑළ අනු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-

7.  උතුරු අනු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-

8.  දකුණු අනු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-

9.  යට දිග සියලු සත්ත්‍වයෝ -පෙ-

10.     උඩු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-

 

පෙරදිග සියලු ප්‍රාණීහු -පෙ- සියලු භූතයෝ -පෙ- සියලු පුද්ගලයෝ -පෙ- සියලු ආත්මභාව පර්‍ය්‍යපන්නයෝ -පෙ- පෑළ දිග ආදිය ද මෙසේ ම ගන්නේ ය.

 

පෙරදිග සියලු ස්ත්‍රීහු ‘සියලු පුරුෂයෝ’ ‘සියලු ආර්‍ය්‍යයෝ’ ‘සියලු අනාර්‍ය්‍යයෝ’ ‘සියලු දෙවියෝ’ ‘සියලු මනුෂ්‍යයෝ’ ‘සියලු විනිපාතිකයෝ’

 

පෑළ දිග -පෙ-

උතුරු දිග -පෙ-

දකුණු දිග -පෙ-

පෙර අනු දිග -පෙ-

පෑළ අනු දිග -පෙ-

උතුරු අනු දිග -පෙ-

දකුණු අනු දිග -පෙ-

යට දිග -පෙ-

 

උඩ දිග සියලු ස්ත්‍රීහු -පෙ- අවෛර වෙත්වා අබ්‍යාපජ්ඣ වෙත්වා අනීඝ වෙත්වා සුවසේ ආත්ම පරිහරණය කෙරෙත්වා.

 

මේ දිසා ඵරණ මෛත්‍රියෙහි ‘පෙරදිග සියලු සත්ත්‍වයෝ’ යනාදි නයින් එක් එක් දිසාවෙක විසි-විසි කොටැ දෙසියයක් ද ‘පෙර දිග සියලු ස්ත්‍රීහු’ යනාදි නයින් එක් එක් දිසාවක් අටවිස්ස බැගින් කොටැ දෙසිය අසූයෙක් දැ යි සාරසිය අසූවෙක් අර්පණා වෙයි. පටිසම්භිදායෙහි දැක්වූ සියලු අර්පණා පන්සිය අට විස්සෙකි.

 

මේ කී අර්පණා අතුරෙන් යම් කිසිවක මෙත්තා චේතෝ විමුත්ති වඩන යෝගී ‘සුඛං සුපති’ යනාදීන් දක්වන ලද එකොලොස් ආනිසංස ලබන්නේ ය.

 

මෛත්‍රී භාවනායෙහි එකොලොස් ආනිසංස

 

1.  සුඛං සුපති = සුව සේ නිදා, ඇතැම් කෙනේක ඔබ- මොබ පෙරළෙමින් ‘සුර - සුරු’ ගාමින් දුකසේ නිදති. මේ යෝගී එසේ නො වැ සුවසේ නිදා-නිදන්නේත් සමවතකට සම වැදුණ සේ නිදයි.

 

2.  සුඛං පටිබුජ්ඣති = සුවසේ පුබුදී, ඇතැම් කෙනෙක් තතනමින් හැඹෙමින් පෙරළෙමින් දුකසේ පුබුදිති. මේ යෝගී එසේ නො වැ පිපී ගෙනැ එන පියුමක් සේ නිර්විකාර වැ සුවසේ පුබුදි යි.

 

3.  න පාපකං සුපිනං පස්සති = නපුරු සිහින නො දකී. සිහිනයක් දක්නේ නම් සෑ වඳනා පුදනා සේ බණ අසනා සේ යහපත් සිහිනයක් ම දක්නේ ය. තවද ඇතැම් කෙනෙක් සොරුන් විසින් පිරිවරන ලද සේ චණ්ඩ සතුන් විසින් ලුහුබඳන ලද සේ ප්‍ර‍පාතයෙහි වැටුණවුන් සේ සිහින දකිති. මේ යෝගී එබඳු සිහින නො දකී.

 

4.  මනුස්සානං පියො හොති = මිනිසුන්ට ප්‍රිය වෙයි. උරෙහි ලු මුතුහරක් සේ ද, හිස පැළඳි මල් මාලාවක් සේ ද, මිනිසුන්ට ප්‍රිය මනාප වෙයි.

 

5.  අමනුස්සානං පියො හොති = විසාඛ තෙරණුවන් මෙන් අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. විසාඛ තෙරණුවෝ වනාහි පැළලුප් නුවර කෙළඹියාණ කෙනෙකි. එහි වසන ඔවුන් විසින් ‘ලක්දිව සෑ මලින් අලංකෘත ය කසාවතින් බබළා. සිය රිසි තැනෙක හිඳැ ගන්නට ද නිදන්නට ද හැකිය. සෘතු සප්පාය, සේනාසන සප්පාය, පුග්ගල සප්පාය, ධර්‍මශ්‍ර‍වණ සප්පාය යන සියල්ල මෙහි සුලභ ය’යි අසන ලද්දේ ය. ඔහු සිය වස්තුව දූ දරුවනට පාවා දී එක් කහවණුවක් පමණක් රෙදි කොන ගැට ගසා ගෙනැ ගෙයින් නික්මැ නැව් තොටට අවුත් නැව එන තාක් මසක් කල් එහි රැඳී උන්හ. තුමූ වෙළඳාමෙහි දක්‍ෂ බැවින් එක දොරෙක බඩු ගෙනැ තව දොරෙක විකුණමින් එ තැනින් බඩු ගෙනැ තව තැනෙක විකුණමින් දැහැමි වෙළඳාමෙන් ම ඒ මස තුළ කහවණු දහසක් උපයා ගත්හ. ඔහු පිළිවෙළින් ලක්දිව් බැස මහා විහාරයට එළඹැ මහණුවම යැදියේ ය. භික්‍ෂූන් විසින් මහණ කරන පිණිස සීමාවට පමුණුවන ලදුවෝ ඒ දහස බැඳි පියල්ල එකවුරුතු අතුරෙන් බිම හෙළුහ. ‘මේ කිමෙක් දැ’යි ඇසූ කල ‘කහවණු දහසෙකැයි’ කියූහ. ‘පින්වත! පැවිදි වූ කල මිළ මුදල් විචාරණය කරන්නට නො පිළිවන. දැන් ම එයට කටයුතු දනුව’යි භික්‍ෂූහු කිවු ය. ඔහු “විසාඛයන් පැවිදිවන තැනට පැමිණියෝ හිස් අතින් නො යෙත්වා”යි කහවණු පොදිය සීමා මාලකයෙහි විසුරුවා පියා පැවිදි උපසපුව ලබා පස් වසක් නිස සමාදන් වැ වැසැ උභය මාතෘකා ප්‍ර‍ගුණ කොට පවරා තමන්ට සැප කමටහනක් ගෙනැ එක්-එක් වෙහෙරැ සිව්-සිව් මසැ සමවත් පුරමින් හැසුරුණෝ ය. එසේ හැසිරෙන උන්වහන්සේ එක්තරා රමණීය වන ලැහැබක් දැකැ ඊ රුක්මුලෙක සමවතට සමවැදැ සමවතින් නැගී ස්වකීය ගුණ ආවර්‍ජනයෙන් ලත් ප්‍රීති සෞමනස්‍යයෙන් මෙසේ උදන් ඇනූහ.

 

‘උපසපුව ලද තැන් - පටන් මෙතැනට එන තෙක්

මා කළ කිසි වරද නැති - නිදුක! තට විය වාසිය’

 

ඔහු සිතුල්පව් වෙහෙර යන්නෝ දෙමං සන්‍ධියකට පැමිණැ ‘මග මේ දො හෝ මේ දො හෝ’යි සිතමින් සිටියහ. පව්වෙහි වසන දෙවියා අතදිගු කොටැ ‘හිමි මේ මග ය’යි දැක්වීය. ඔහු ඒ මඟින් සිතුල්පව් ගොස් සිවු මසක් ඊ වැසැ ‘සෙට උදෑසනක් සේ මින් බැහැර යෙමි’යි සිතා නිදි ගත්හ. සක්මන් කෙළවරැ මිණිල රුක වුසූ දෙවියා හිණිපෙත මත්තෙහි හිඳැ හඬන්නට වන. තෙරණුවෝ ‘මේ කවරෙක් දැ’යි ඇසූ හ. ‘හිමි මම මිණිලයා’යි කීය. කුමට හඬන්නේ දැ’යි විචාළ කල ඔබ ගමන් නිසාය’යි කීය. මා මෙහි වසන්නා තොපට කවර ගුණ දැ යි ඇසූ කල ‘හිමි! ඔබ මෙහි වසත් අමනුෂ්‍යයෝ ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රී ලබති. දන් ඉතින් ඔබ ගිය කලැ ඔවුහු කලහ කෙරෙති නපුරු බස් බෙණෙති’යි කීය. ඒ අසා තෙරණුවෝ ‘ඉදින් මා මෙහි විසීමෙන් තොපට පහසු විසුමෙක් වේ නම් ඒ මැනවැ’යි කියා තව සිවු මසක් එහි වැසැ යන්නට සැරසුණාහ. මිණිලයා නැවත ද හැඬුයේ ය. මේ නියායෙන් විසාඛ තෙරණුවෝ සිතුල්පව් වෙහෙර මැ වැසැ එහි ම පිරිනිවියහ. මෙසේ මෙත් වඩන යෝගී අමනුෂ්‍යයනට ප්‍රිය වන්නේ ය.

 

6.  දේවතා රක්ඛන්ති = මෑණි කෙනෙක් පුතකු රක්නා මෙන් දෙවියෝ ඔහු රකිත්.

 

7. නාස්ස අග්ගි වා විසං වා සත්‍ථං වා කමති = මෙත් වඩන යෝගීහුගේ සිරුරෙහි උත්තරා උපාසිකාවගේ සිරුරෙහි මෙන් ගිනි නො ගනී. සංයුත්ත භාණක චුල්ලසීව තෙරුන්ට මෙන් විස නො කැවේ. සංකිච්ච සාමණේරයන්ට මෙන් සැත් නො වදී. මෙහි ලා ධේනු වස්තුව ද කිය යුතු.

 

එක් ගව දෙනක් වසුට කිරි දෙමින් සිටියා ය. වැද්දෙක් ඇය දැකැ විදිමි යි සිතා, අතින් සරහා පියා අග මිට ඇති තෙබින් ඇන්නේ ය. තෙබ දෙනගේ සිරුරේ වැදැ තල් කොළයක් මෙන් වකුටු විය. ඒ කලි උපචාර බලයෙකින් වූ යේ නො වේ. අර්පණා බලයෙකින් වූයේ නො වේ. හුදෙක් වසු කෙරෙහි පැවැති දැඩි ප්‍රිය සිත් බලයෙන් වූයේ ය. මෛත්‍රිය මේ සා මහානුභාව ඇතැයි දත යුතු.

 

8. තුවටං චිත්තං සමාධියෙති = මෙත් වඩන්නහුගේ සිත වහා සමාහිත වේ. එහි ලැසි බවෙක් නම් නොවේ.

 

9. මුඛවණ්ණො විප්පසීදති = නැට්ටෙන් ගිලිහුණු තල් ගෙඩියක් සේ ඔහුගේ මුහුණ ඉතා පහන් වේ.

 

10. අසම්මුළෙහා කාලං කරොති = මෙත් වඩන්නහුට සිහි මුළා වැ වන මරණයෙක් නැති. නුමුළා වැ මැ නිදි ගත්තා සේ කලුරිය කෙරේ.

 

11. උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍ර‍හ්මලොකුපගො හොති = ඉදින් රහත් වැ ගන්නට නො හැකි වී නම් නිදා පිබිදිය සේ ගොස් බඹ ලොව උපදින්නේ ය.

 

මෛත්‍රී භාවනායෙහි විස්තර කථාව නිමියේ යි.

 

කරුණා භාවනාව

 

කරුණා බ්‍ර‍හ්ම විහරණය වඩනු කැමති යෝගියන් විසින් කරුණා රහිත බව්හි ආදීනව හා කරුණා සහිත බව්හි ආනිසංස හා සලකා භාවනාවට පටන් ගත යුතු. පටන් ගන්නා විසිනුදු පළමු කොටැ ප්‍රිය පුද්ගලාදීන් කෙරෙහි කරුණා නො වැඩිය යුතු. කුමක් හෙයින් ද, ප්‍රියයා ප්‍රිය තන්හි ම ද, අතිප්‍රිය යහළුවා අති ප්‍රිය යහළු තන්හි ම ද, මධ්‍යස්ථයා මධ්‍යස්ථ තන්හි ම ද, අප්‍රියයා අප්‍රිය තන්හි ම ද, වෛරියා වෛරී තන්හි ම ද පිහිටන බැවින් ලිඞ්ග විසභාගයන් කෙරෙහි ද, කලුරිය කළවුන් කෙරෙහි ද එසේ ම කරුණා නො වැඩිය යුතු යි. අක්‍ෂේත්‍ර‍ බැවිනි.

 

“කථඤ්ච භික්ඛවෙ භික්ඛු කරුණා සහගතෙන චෙතසා එකං දිස්වා ඵරිත්‍වා විහරති. සෙය්‍යථාපි නාම එකං පුග්ගලං දුග්ගතං දුරූපෙතං දිස්වා කරුණායෙය්‍ය එවමෙව සබ්බෙ සත්තෙ කරුණාය ඵරති[338] යි විභඞ්ගයෙහි වදාළ බැවින් හැමට පළමු වැ ම කරුණා කළ යුතු ආකාර ඇති ඉතා දුක්පත් - දිළිඳු - සිඳ ලූ අත් පා ඇති වැ කබලක් පෙරටුයෙහි තබාගෙන අම්බලමෙක වැදැ හොත්-අතින් පයින් පණු කැලන් කා හැළෙන - එහෙයින් ම බැගෑ හඬින් හඬන - පව්කාර බැගෑ මිනිසකු දැකැ ‘අහෝ! මේ මිනිසා දුකට පැමිණියේ ය මොහු මේ දුකින් මුදා ගන්නෙම් ඉතා යෙහෙකැයි කරුණා වැඩිය යුතු.

 

ඉදින් එවැන්නකු නො ලද්දේ නම් සුව විඳින්නා වූ ද පව්කාර පුද්ගලයකු වධ්‍යයකු හා සම කොටැ සිතා කරුණා කළ යුතු. කෙසේ ද, බඩු සහිත සොරකු අසු වූ විට රජ ‘මොහු මරව’යි නියෝග කරයි. රජුගෙන් නියෝග ලත් පුරුෂයෝ ඔහු බැඳැ ගෙනැ සන්‍ධියෙහි - සන්‍ධියෙහි සිය ගණන් පහර දෙමින් වධ ස්ථානයට ගෙන යති. ඔහු දුටු මනුෂ්‍යයෝ කන-බොන දැය ද මල්-ගඳ විලවුන් ද, බුලත් ද ඔහුට දෙති. හේ ඒ දුන් දේ කමින්-බොමින් සුව ඇත්තකු සේ භෝග ඇත්තකු සේ ගමන් කරයි. එහෙත් කිසිකෙනෙක් මේ සුව ඇත්තෙකු මේ භෝග ඇත්තෙකැයි නො සිතති. ‘ඒකාන්තයෙන් මේ දීනයා දැන් මරණයට පැමිණේ. මොනු නගන පියෙන් පියට මොහුට මරණය ළඟා වන්නේය’යි මිනිස්සු ඔහු කෙරෙහි කරුණා කරති. එසේ ම කරුණාකමට හන් ගත් යෝගියා විසින් සුව ඇත්තා වූ ද පුද්ගලයා කෙරෙහි කරුණා වැඩිය යුතු. කෙසේ ද, මේ දීනයා දැ සුවසේ සැදී පැහැදී පස් කම් සුව වළඳතත් තුන්දොරින් එකෙකිනුදු කළ කුසලයක් නැති බැවින් මේ මතු අපායෙහි අනල්ප දුක් දොම්නස් විඳී යයි’ මෙසේ ඔහු කෙරෙහි කරුණා වඩා ඉක්බිති එ ක්‍ර‍මයෙන් ම ප්‍රිය පුද්ගලයා කෙරෙහි ද, ඉක්බිති මධ්‍යස්ථයා කෙරෙහි ද, ඉක්බිති වෛරියා කෙරෙහි ද, ක්‍ර‍මයෙන් කරුණා වැඩිය යුතු. ඉදින් පෙර කී සේ වෛරියා කෙරෙහි ක්‍රෝධ උපදී නම් මෛත්‍රියෙන් ඒ සන්සිඳුවා ගත යුතු ය.

 

ඉදින් කළ කුසල් ඇත්තෙක් නම් ඥාති-රෝග-භෝග-ව්‍යසනාදීන් අතුරෙන් කිසිවකින් යුක්ත ය යි දැක හෝ අසා හෝ එසේත් නැත් නම් ‘සසර දුක් නො ඉක්ම වූ බැවින් ඒකාන්තයෙන් දුඃඛිතම ය’ යි සර්‍වකාරයෙන් ම කරුණා කොටැ යට කියූ පරිදි තෙමේ ය, ප්‍රිය පුද්ගලය, මධ්‍යස්ථය, වෛරීය යන සිව් දෙනා කෙරෙහි සීමාසම්භේදය කොටැ ඒ නිමිත්ත ම සෙව්මින් බලමින් බිහිලී කෙරෙමින් මෛත්‍රියට කී සේ ත්‍රික-චතුෂ්ක ධ්‍යාන වශයෙන් අර්පණා ලැබිය යුතු.

 

අඞ්ගුත්තර අටුවායෙහි වනාහි පළමුකොට වෛරී පුද්ගලයා කෙරෙහි කරුණා කළ යුතු බව ද, ඔහු කෙරෙහි සිත මෘදු කොටැ ඉක්බිති දුක්පතා කෙරෙහි ද, ඉක්බිති ප්‍රිය පුද්ගලයා කෙරෙහි ද, ඉක්බිති තමා කෙරෙහි ද කරුණා කළ යුතු බව කියන ලද්දේ ය. ඒ මෙහි දැක්වූ “දුග්ගතං දුරූපෙතං” යනාදි පාළි නයහා සම නො වන බැවින් මෙහි කියූ සේ භාවනා කොට සීම්සමේභේදයෙන් අර්පණා වැඩිය යුතු.

 

මින් මතු ලැබිය යුතු පංචවිධ අනෝධිසො ඵරණ දසවිධ දිසා ඵරණ විකුබ්බන ද “සුඛං සුපති” යනාදි ආනිසංස ද යට මෛත්‍රියට කී පරිදි මය යි දත යුතු.

 

කරුණා භාවනායෙහි විස්තර කථාවයි.

 

මුදිතා භාවනාව

 

මුදිතා බ්‍ර‍හ්ව විහාරය වඩනු කැමති යෝගීහු විසින් පළමු කොටැ ඒ මුදිතාව ප්‍රියයා කෙරෙහි හෝ මධ්‍යස්ථයා කෙරෙහි හෝ වෛරියා කෙරෙහි හෝ නො වැඩිය යුතු ය. ප්‍රියයා ප්‍රිය වූ පමණින් ම මුදිතාවට කරුණු නො වේ. මධ්‍යස්ථ වෛරීන් ගැනැ කියනු ම කවරේ ද, එසේ ම ලිඞ්ග විසභාගයෝ ද, කාලක්‍රියා කොළෝ ද මෙයට ක්‍ෂේත්‍ර‍ නො වෙති. අටුවායෙහි වනාහි සොණ්ඩ සහාය ය යි කියන ලද අතිප්‍රිය යහළුවා ම මුදිතාවට කාරණ වේ. ඒ අතිප්‍රිය යහළුවා මුදිත මුදිත ම වේ. පළමු කොට සිනා සී පසුව කථාවට පටන් ගනී. එහෙයින් ඔහු කෙරෙහි ම පළමු කොටැ මුදිතා වැඩිය යුතු. සුඛිත-මුදිත වූ ප්‍රිය පුද්ගලයකු දැකැ හෝ අසා හෝ ‘මේ පුද්ගලයා ඒකාන්තයෙන් මුදිත ය. අහෝ ඉතා යෙහෙකැ’යි ඔහු කෙරෙහි හෝ මුදිතා වැඩිය යුතු. විභඞ්ගයෙහි “කථඤ්ච භික්ඛවෙ භික්ඛු මුදිතා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති සෙය්‍යථාපි නාම එකං පුග්ගලං පියං මනාපං දිස්වා මුදිතො අස්ස එවමෙව සබ්බෙ සතෙත මුදිතාය ඵරති”[339] යි වදාළේ මේ දෙවනු කී ප්‍රිය පුද්ගලයා සඳහා ය.

 

ඉදින් ඒ අතිප්‍රිය යහළුවා හෝ ප්‍රිය පුද්ගලයා හෝ අතීතයෙහි සුඛිත වුව ද දැන් දුක්ඛිත නම් දුරූපෙත නම් ඔහුගේ අතීත සුඛිත භාවය ම සලකා ‘මේ අතීතයෙහි මහා භෝග ඇත්තෙක් විය. මහා පරිවාර ඇත්තෙක් විය. නිති ප්‍ර‍මුදිතයෙක් වි’ ය යි ඔහුගේ අතීත මුදිතාකාරය සලකා මුදිතා වැඩිය යුතු.

 

ඉදින් හේ අනාගතයෙහි ද ප්‍ර‍මුදිත නො වී නම් අනාගතයෙහි වන ප්‍ර‍මුදිත තත්‍වය සලකා ‘මේ අනාගතයෙහි සමපත් ලැබැ ඇතුන්-අසුන් පිට නැඟී රන්සිවිගෙහි නැඟී ඇවිදින්නෝය’යි අනාගත මුදිතාකාරය සලකා මුදිතා වැඩිය යුතු.

 

මෙසේ ප්‍රිය පුද්ලයා කෙරෙහි මුදිතා වඩා ඉක්බිති මධ්‍යස්ථයා කෙරෙහි ද, ඉක්බිති වෛරියා කෙරෙහි ද මුදිතා වැඩිය යුතු. අර්පණා උපදවිය යුතු. ඉදින් වෛරියා කෙරෙහි ද ක්‍රෝධ උපදින්නේ නම් පෙර කී සේ මෙත් වඩා සිත සන්සිඳුවා ගත යුතු.

 

මෙසේ මේ තුන් දෙනා කෙරෙහි ද, තමා කෙරෙහි ද සම සිත් උපදවා සීමාසම්භේද කොටැ ඒ නිමිත්ත ම සෙව්මින් බිහිලි කෙරෙමින් මෛත්‍රියෙහි කී සේ ත්‍රික-චතුෂ්ක ධ්‍යාන වශයෙන් අර්පණා ලැබ ගත යුතු. එයින් මතු ලැබිය යුතු පඤ්චවිධ අනොධිසොඵරණ, සප්තවිධ ඔධිසො ඵරණ, දසවිධ දිසා ඵරණ යන විකුබ්බණ ද ‘සුඛං සුපති’ යනාදි ආනිසංස ද මෛත්‍රී භාවනාවෙහි කී පරිදි ම ය යි දත යුතු.

 

මුදිතා භාවනායෙහි විස්තර කථාව නිමියේ ය.

 

උපේක්‍ෂා භාවනාව.

 

උපේක්‍ෂා බ්‍ර‍හ්මවිහාරය වඩනු කැමැති යෝගී පළමු මෛත්‍රී - කරුණා - මුදිතා යන තුන් තන්හි ලත් ත්‍රික හෝ චතුෂ්ක ධ්‍යාන ඇතියකු විය යුතු ය. එසේ ත්‍රික හෝ චතුෂ්ක ධ්‍යාන ලත් ඔහු විසින් ප්‍ර‍ගුණ වූ තෘතීය හෝ චතුර්‍ථ ධ්‍යානයෙන් නැඟී “සියලු සත්ත්‍වයෝ සුවපත් වෙත්වා” යි කරනු ලබන මෛත්‍රිය සතුන් කෙරෙහි මමත්‍ව වශයෙන් පවත්නා මෙනෙහි කිරීමක් බැවින් ද, කරුණාව දොම්නසට ආසන්න බැවින් ද මුදිතාව සොම්නස බැවින් ද, ඖදාරික හෙයින් එහි ආදීනව හා උපේක්‍ෂාව ශාන්ත බැවින් එහි ආනිසංස හා සලකා යම් ප්‍ර‍කෘති මධ්‍යස්ථ පුද්ගලයෙක් වේ නම් ඔහු කෙරෙහි උපේක්‍ෂා කිරීම් වශයෙන් භාවනා වැඩිය යුතු. (“මේ සත්ත්‍ව තෙමේ තමා කළ කම් විසින් පරලොවින් අය. දැනුදු පරලොවට යෙයි. තෝ ද කළ කම් විසින් ම පරලොවින් අය පරලොවට යෙයි ඕ හට තාගේ ප්‍රයෝගයෙන් සුවයක් එළවන්නට වත් දුකක් පහ කරන්නට වත් නො පිළිවන. මෛත්‍රී-කරුණාදි විසින් සතුන් කෙරෙහි මමත්‍වය කිරීම හුදෙක් චිත්තයා ගේ අනෘජු කර්‍මය වේ. සර්‍ව සත්ත්‍වයන් කෙරෙහි මැදහත් බව සියලු ආර්‍ය්‍යයන් විසින් ගත් මාර්‍ගයැ-අවිරුද්ධ ප්‍ර‍තිපත්තිය යි මෙසේ ප්‍ර‍තිපක්‍ෂ ජුගුප්සා මුඛයෙන් මැදහත් බවෙහි වූ ගෞරව-බහුමාන-ආදර ඇත්තහු විසින් උපේක්‍ෂා තොමෝ උපදවිය යුතු ය යි සේ යි. මෙසේ සුවිශේෂ කොටැ උපේක්‍ෂා එළවා පිළිපදනාහු හට පියොවින් ම උදාසීන බැවින් සාතිශයයෙන් ම උහු කෙරෙහි මැදහත් බව වෙයි. භාවනා බලයෙන් නීවරණයෝ විෂ්කම්භිත වෙති. කිලෙස්හු සන්සිඳෙතියි දත යුතු යි” යනු සන්න යි)

 

ඉක්බිති ප්‍රිය පුද්ගලාදීන් කෙරෙහි ද උපේක්‍ෂා වැඩිය යුතු.

 

“කථඤ්ච භික්ඛවෙ භික්ඛු උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහාරති. සෙය්‍යථාපි නාම එකං පුග්ගලං නෙව මනාපං න අමනාපං දිස්වා උපෙක්ඛකො අස්ස එවමෙව සබ්බෙ සත්තෙ උපෙක්ඛාය ඵරති[340] යි විභඞ්ගයෙහි වදාළ බැවින් යට කියූ සේ මධ්‍යස්ථ පුද්ගලයා කෙරෙහි උපේක්‍ෂා උපදවා ඉක්බිති ප්‍රිය පුද්ගලයා, සොණ්ඩසහාය, වෛරී, තමා යන සියල්ලන් කෙරෙහි මධ්‍යස්ථ වශයෙන් සීමසම්භෙද කොටැ ඒ නිමිත්ත ම සෙවිය යුතු බැලිය යුතු. බිහිලි කළ යුතු එසේ කරත්-කරත් පඨවි කසිණයෙහි කියූ සේ චතුර්ථ ධ්‍යානය ලැබෙන්නේ ය. මෙහි ලා ප්‍ර‍ශ්නයෙකි. පඨවි කසිණාදියෙන් තෘතීය ධ්‍යානය උපදවා ගත්ත හුට මෙහි චතුර්ථධ්‍යානය උපදවා ගත හැකි ද, නො හැකි ය.

 

කුමක් හෙයින් ද, අරමුණ සභාග නොවන හෙයිනි.

 

මෛත්‍රී ආදියෙහි තෘතීය ධ්‍යානය උපදවා ගත්තහුට ම අරමුණු සභාග බැවින් චතුර්ථ ධ්‍යානය ලැබෙන්නේ ය.

 

ඉන් ඔබ්බෙහි ලැබිය යුතු විකුබ්බණ ද, ආනිසංස ද මෛත්‍රියට කී පරිදි ම ය යි දතයුතු.

 

උපේක්‍ෂා භාවනායෙහි විස්තර කථාව නිමියේ ය.

 

සතර බ්‍ර‍හ්ම විහරණයෙහි ප්‍ර‍කීර්‍ණක කථාව

 

බ්‍ර‍හ්මෝත්තම වූ භගවත් බුදුන් වදාළ මේ සතර බ්‍ර‍හ්ම විහාර මෙසේ දැනැ ඒ පිළිබඳ ප්‍ර‍කීර්‍ණක කථා ද මතු දැක්වෙන පරිදි දත යුතු.

 

අර්‍ථ වශයෙන්

මෙත්තා = “මිජ්ජතීනි මෙත්තා-සිනියහතී ති අත්‍ථො” යම් ධර්‍මයක් සිත ස්නේහ කෙරේ ද ඒ මෛත්‍රියයි. (පැරකුම්බා සන්නයෙහි මේ මෙසේ විස්තර කෙරෙති. ‘සත්ත්‍වයන් කෙරෙහි ව්‍යාපජ්ජන විසින් රූක්‍ෂ බවට ප්‍ර‍තිපක්‍ෂ වූ හිතකර ප්‍ර‍වෘත්තිය ස්නේහ නම් වෙයි. තෘෂ්ණායන වශයෙන් ස්නේහය නො වෙයි. හෙ තෙමේ මෝහපූර්‍වඞ්ගම වූයේ ලෝභස්වරූප ය. මේ වනාහි අද්‍වෙෂ ස්වරූප වූයේ අලෝභසම්ප්‍ර‍යුක්ත වෙයි දත යුතු’)

 

‘මිතෙත්වා භවා මිත්තස්සවා එසා පවත්ත තී පි මෙත්තා=මිත්‍ර‍යා කෙරෙහි වූයේ නු යි හෝ මිත්‍ර‍යාගේ මේ ප්‍ර‍වෘත්තිය නු යි හෝ මෛත්‍රි ය (මිත්‍ර‍ බව - මිත්‍ර‍ ගුණය) මෛත්‍රිය යි සේ යි.

 

කරුණා = “පරදුක්ඛෙ සති සාධූනං හදය කම්පනං කරොතීති කරුණා.” මෙරමා දුක් ඇති කල්හි සාධුන්ගේ හෘදය කම්පනය කරන්නේ කරුණා ය. කම්පනය නම් මෙරමා දුක් දැකැ එය බැහැර කරනු කැමැත්තෙන් නො ඉවසීම් වශයෙන් සිතෙහි ඇත්වන අන්‍යථාත්‍වය යි. “කිණාති වා පරදුක්ඛං හිංසති විනාසෙතීනි කරුණා” = මෙරමා දුක කිණනය කරන්නේ විනාශ කරන්නේ හෝ කරුණා ය. “කිරයති වා දුක්ඛිතෙසු ඵරණවසෙන පසාරීයතීති කරුණා” දුක්කිතයන් කෙරෙහි පැතිරවීම් වශයෙන් කරණය කරන්නේ - ප්‍ර‍සාරණය කරන්නේ හෝ කරුණා යි.

 

මුදිතා= “මොදන්ති තාය තං සමඞ්හිනො, සයංවා මොදති, මොදනමත්තමෙව වා මුදිතා” - යම් ධර්‍මයක් කරණ කොටැ ගෙන ඒ ධර්‍මයෙන් යුක්ත වූවෝ මෝදනය වෙත් ද-සතුටු වෙත් ද ඒ මුදිතා ය. තෙමේ හෝ මෝදනය වන්නේ - සතුටු වන්නේ මුදිතා ය. මෝදන මාත්‍ර‍ය - සතුටුවීම් මාත්‍ර‍ය හෝ මුදිතා ය. (කරණ කාරක, කර්‍තෘ කාරක, භාවකාරක වශයෙන් කළ විග්‍ර‍හ යි.)

 

උපෙක්ඛා = “අවෙරා හොන්තූති ආදිව්‍යාපාරප්පහාණෙන මජ්ඣත්තභාවූපගමනෙන ච උපෙක්ඛතීති උපෙක්ඛා” අවෛර වෙත්වා යනාදි ව්‍යාපාර දුරු කිරීමෙන් ද, මධ්‍යස්ථභාවයට පැමිණීමෙන් ද උපේක්‍ෂා කරන්නේ උපේක්‍ෂාය.

 

ලක්‍ෂණ - රස පච්චුපට්ඨාන - පදට්ඨාන-සම්පත්ති, විපත්ති වශයෙන්

මෛත්‍රියෙහි ලක්‍ෂණය සත්ත්‍වයන් කෙරෙහි හිත ආකාරයෙන් පැවැත්ම ය. රසය සත්ත්‍වයන් කෙරෙහි සිත එළවීම ය. පච්චුපට්ඨානය වෛර දුරුකිරීම ය. පදට්ඨානය සත්ත්‍වයන් කෙරෙහි මනාපත්‍වයෙන් දැක්ම ය. සම්පත්තිය ව්‍යාපාද සංසිඳීමය. විපත්තිය සෙනහ උපැද්ම ය.

 

කරුණායෙහි ලක්‍ෂණය දුඃඛිත සත්ත්‍වයන් ගේ දුක් දුරු කරන ආකාරයෙන් පැවැත්ම ය. (දුක් දුරු වේවා නො වේවා ඒ කරුණු නොවේ.) රසය මෙරමා දුක් නො ඉවසීම ය. පච්චුපට්ඨානය අවිහිංසාව ය. පදට්ඨානය දුකින් පෙළුණුවුන්ගේ අසරණ බව දැක්ම ය. සම්පත්තිය විහිංසා සංසිඳවීම ය. විපත්තිය ශෝක උපැද්ම ය. (කරුණා මුඛයෙන් ශොකය වංචා කෙරේ.)

 

මුදිතායෙහි ලක්‍ෂණය ප්‍රමෝදය හෙවත් පරසම්පත්තියෙහි සතුටුවීම ය. රසය ඊර්‍ෂ්‍යා නොකිරීම ය. පච්චුපට්ඨානය පර සම්පත් අධිකුශලධර්‍ම, පන්‍ථසේනාසන යන මෙහි නො ඇලුම් නැති කිරීම ය. පදට්ඨානය සත්ත්‍වයන්ගේ සම්පත්ති දැක්ම ය. සම්පත්තිය අරතිසංසිඳවාලීම ය. විපත්තිය ගේහසිත පේම වශයෙන් හර්‍ෂ උපැද්ම ය.

 

උපේක්‍ෂායෙහි ලක්‍ෂණය සත්ත්‍වයන් මධ්‍යස්ථාකාරයෙන් පැවැත්ම ය. රසය ප්‍රියාදි භේද ඇති සත්ත්‍වයන් කෙරෙහි සමභාවයෙන් දැක්ම ය. පච්චුට්ඨානය ප්‍ර‍තිඝ, අනුනය සංසිඳවීම ය පදට්ඨානය ‘සත්‍වයෝ කර්‍මස්වකයෝ ය. ඔව්හු කවරකුගේ රුචියෙන් සුඛිත හෝ වෙත් ද, දුකින් හෝ මිදෙත් ද, පැමිණි සැපතින් හෝ නො පිරිහෙත් දැ’යි මෙසේ කර්‍මස්වකතා දැක්ම ය. සම්පත්ති ප්‍ර‍තිඝ-අනුනය සංසිඳවීම ය. විපත්තිය ගේහසිත වූ අඥාන උපේක්‍ෂාව උපැද්ම ය. (උපේක්‍ෂා සහගත මොහය අඥානොපෙක්‍ෂා නම)

 

සාධාරණ, ආනෙකිත ප්‍රයෝජන වශයෙන්

 

විදර්‍ශනා සුඛය හා භව සම්පත්තිය මේ සතර බ්‍ර‍හ්මවිහාරයන්ගේ සාධාරණ ප්‍රයෝජනය යි. (‘මිහි දිට්ඨ ධම්මසුඛ විහාරො’ යනුදු සාධාරණ ප්‍රයෝජන වකතව්‍ය යි. ‘සුඛං සුපති’ යනාදි එකාදසානි සංසයෝ වනාහි යට ගෘහිත බැවින් මෙ තැන නො ගන්නා ලදහු යනු සන්නයි) ව්‍යාපාදාදිය දුරු කිරීම ආවේනික ප්‍රයෝජනය යි.

 

ඒ එසේ මැයි :- මෛත්‍රියෙහි ආවේනික ප්‍රයෝජනය ව්‍යාපාද දුරු කිරීම ය. කරුණායෙහි ආවේනික ප්‍රයෝජනය විහිංසා දුරු කිරීමය. මුදිතායෙහි ආවේනික ප්‍රයෝජනය අරති දුරු කිරීම ය. උපේක්‍ෂායෙහි ආවේනික ප්‍රයොජනය අරති රාගය දුරු කිරීම ය. (ආවේනික ප්‍රයෝජන නම් වෙන් වෙන් ප්‍රයොජන ය.)

 

වදාළේ මැ යි.

 

“නිස්සරණං හෙතං ආවුසො ව්‍යාපදස්ස යදිදං මෙත්තා චෙතො විමුත්ති, නිස්සරණං හෙතං ආවුසො විහෙසාය යදිදං කරුණා චෙතො විමුත්ති, නිස්සරණං හෙතං ආවුසො අරතියා යදිදං මුදිතා චෙතො විමුත්ති, නිස්සරණං හෙතං ආවුසො රාගස්ස යදිදං උපෙක්ඛා චෙතො විමුත්ති”[341] යි. අර්‍ථ සුබොධ යි.

 

ආසන්න - දුර සතුරු වශයෙන්

 

සතර බ්‍ර‍හ්ම විහාර අතුරෙන් එක් එක් බ්‍ර‍හ්ම විහරණයට ආසන්න සතුරා ය, දුර සතුරාය යි සතුරෝ දෙදෙනෙකි.

 

කිසියම් පුරුෂයකු හට ආසන්නයෙහි හැසිරෙන සතුරා මෙන් මෛත්‍රී බ්‍ර‍හ්ම විහරණයට රාගය ආසන්න සතුරා ය. මෛත්‍රිය හා රාගය ගුණ දැක්මෙහි ලා සමාන බැවිනි. (‘එහි මෙත් තොමෝ දාන ප්‍රිය වචන ආදි ශීල-ශ්‍රැතාදි ගුණග්‍ර‍හණ වශයෙන් පවත්තී, එහෙයින් ගුණදර්‍ශනයෙන් සභාග බැවින් මිත්‍ර‍මුඛ සතුරකු මෙන් තුල්‍යාකාරයෙන් දර්‍ශනය කෙරේ’ යනු සන්න යි.) ඒ රාග සතුරා ස්වල්ප වූ ද සිහිමුළාවෙකින් මෛත්‍රිය දුරු කොටැ ඒ අරමුණ ගන්නට නිසි බැවින් ඒ රාග සතුරාගෙන් මෛත්‍රිය මනා කොටැ රැක ගත යුතු යි.

 

පුරුෂයාහට පර්‍වතාදි දුර්‍ග ඇසුරු කළ දුර සතුරා මෙන් මෛත්‍රී බ්‍ර‍හ්ම විහරණයට ව්‍යාපාදය දුර සතුරා ය. මෛත්‍රිය හා ව්‍යාපාදය ස්වභාවයෙන් ම අසමාන බැවිනි. එහෙයිනි ව්‍යාපාදයෙන් බිය නො වැ මෛත්‍රී ද වැඩිය යුතු යි. මෛත්‍රී ද කරන්නේ ය. කෝප ද කරන්නේ ය යන මේ දෙක කිසි කලෙක එක තැන නො ලබන්නෙකි.

 

කරුණා බ්‍ර‍හ්ම විහරණයට ගේහසිත දොම්නස ආසන්න සතුරා ය. විපත් දැකීම් වශයෙන් සමාන බැවිනි විහිංසාව දුර සතුරා ය. කරුණාව හා විහිංසාව ස්වභාවයෙන් අසමාන බැවිනි. එ හෙයින් විහිංසායෙන් බිය නො වැ කරුණා වැඩිය යුතු කරුණාත් කරන්නේ ය. අත් පා ආදියෙනුත් ගසන්නේ ය. යනු කිසිකලෙක එක තැන නො ලැබෙන්නකි. එහි ගේහසිත දොම්නස නම් කිම? “චක්ඛු විඤ්ඤෙය්‍යානං රූපානං ඉඨානං කන්තානං මනාපානං මනෝරමානං ලෝකාමිසපටිසයුත්තානං අප්පටිලාභං වා අප්පටිලාභතො සමනුස්සරතො, පුබ්බෙ වා පටිලද්ධපුබ්බා අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතො උප්පජ්ජති දොමනස්සං, යං එවරූපං දොමනස්ස ඉදං වුච්තති ගෙහසිතං දොමනස්සං[342] යනාදීන් වදාළ බැවින් ‘ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනෝරම්‍ය වූ ලෝකාමිෂ ප්‍ර‍තිසංයුක්ත වූ චක්‍ෂුර්විඥෙය්‍ය වූ රූප නො ලදින් ඒ නො ලද්දෙමි’යි සිහි කරන්නා හට ද පෙරදී ලැබැ නැති වැ ගිය රූප සිහි කරන්නා හටද, යම් දොම්නසෙක් උපදී නම් එය ගෙහසිත දොම්නසැයි දත යුතු. (ගෙහසිත දොම්නස නම් කාමගුණ නිශ්‍රිත දොම්නසයි.)

 

මුදිතා බ්‍ර‍හ්ම විහරණයට ගේහසිත සොම්නස ආසන්න සතුරා ය. සම්පත් දැකීම් වශයෙන් සමාන බැවිනි අරතිය දුර සතුරා ය. ස්වභාවයෙන් අසමාන බැවිනි. (භොගාදි සම්පත්තීන් ප්‍ර‍මුදිත සත්ත්‍වයන් කෙරෙහි මොදනාකාර ප්‍ර‍මුදිත ස්වභාවයට ඔවුන් කෙරෙහි අනහිරතාකාර අරති ස්වභාවය විසභාග බැවින්, යනු සන්න යි) එ බැවින් ඒ අරතියෙන් බිය නො වැ මුදිතා වැඩිය යුතු. ප්‍ර‍මුදිතත් වන්නේ ය, ප්‍රාන්ත සයනාසන අධි කුශල ධර්‍ම යන මෙහි උකටළීත් වන්නේ ය, යනු කිසිකලෙක එක තැන නො ලැබෙන්නකි. ගේහසිත සොම්නස නම් කිම? “චක්ඛු විඤෙඤය්‍යානං රූපානං ඉඨානං කන්තානං මනාපානං මනෝරමානං ලෝකාමිසපටිස යුත්තානං පටිලාභං වා පටිලාභතො සමනුපස්සතො, පුබ්බෙ වා පටිලද්ද්‍ධපුබ්බා අතීතං නිරුද්‍ධං විපරිණ්තං සමනුස්සරතො උප්පජ්ජති සොමනස්සං, යං එවරූපං සොමනස්සං ඉදං වුච්චති ගේහසිතං සොමනස්සං[343] යනාදීන් වදාළ බැවින් ‘ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනොරම්‍ය වූ ලෝකාමිෂ ප්‍ර‍තිසංයුක්ත වූ චක්‍ෂුර්විඥෙය්‍ය වූ රූප ලැබැ එය ලදිමි’යි සලකන්නා හට ද පෙර ලැබැ නැති වැ ගිය රූප සිහි කරන්නා හටද, යම් සොම්නසෙක් උපදී නම් එය ගෙහසිත සොම්නසැයි දත යුතු. (ගෙහසිත සොම්නස නම් පස්කම් ගුණ ඇසුරු කළ සොම්නස ය)

 

උපේක්‍ෂා බ්‍ර‍හ්ම විහාරයට වනාහි ගේහසිත අඥාන උපේක්‍ෂාව ආසන්න සතුරා ය. දෝෂ ගුණ අවිචාරණ වශයෙන් සමාන බැවිනි. (යම් සේ බ්‍ර‍හ්ම විහාරෝපෙක්‍ෂා තොමෝ මෛත්‍රී ආදින් මෙන් සත්ත්‍වයන් කෙරෙහි හිතෝපසංහාරවශයෙන් ගුණ දෝෂ විචාරණය නො කරන්නී හුදකේ අද්ධ්‍යුපෙක්‍ෂණ වශයෙන් පවතී ද, එසේ ම අඥානෝපේක්‍ෂාව ද සත්ත්‍වයන් කෙරෙහි විද්‍යාමාන ගුණ-දෝෂ නො විචාරන්නී හුදෙක් අද්ධ්‍යුපේක්‍ෂණ වශයෙන් පවතී’ යනු සන්න යි.) රාගය හා ප්‍ර‍තිඝය දුර සතුරා ය. ස්වභාවයෙන් අසමාන බැවිනි. එබැවින් රාගයෙන් හා පටිඝයෙන් බිය නොවැ උපේක්‍ෂා වැඩිය යුතු. ‘උපේක්‍ෂා ද කරන්නේ ය. රාග - ප්‍ර‍තිඝ ද කරන්නේ ය’ යනු කිසි කලෙක එක් තැන් නො ලැබෙන්නෙකි. ගේහසිත උපේක්‍ෂා නම් කිම? “චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති උපෙක්ඛා බාලස්ස මූලභස්ස පුථුජ්ජනස්ස අනොධිජිනස්ස අවිපාකජිනස්ස ආනාදීනව දස්සාවිනො අසසුතවතො පුථුජජනසස යා එවරූපා උපෙක්ඛා රූපං සා නාතිවතති. තසමා සා උපෙකඛා ගෙහසිතානි වුචචති[344] යනාදීන් වදාළ බැවින් ‘බාල වූ මූඪ වූ පුථුජ්ජන වූ අනොධිජින වූ අවිපාකජින වූ අනාදීනව දර්හී වූ අශ්‍රැතවත් පෘථග්ජනයාහට ඇසින් රූප දැක්මෙන් උපේක්‍ෂා උපදින්නේ ය. ඒ උපේක්‍ෂාව රූප සමතීක්‍ර‍මණයට කාරණ නො වන්නේ ය. එහෙයින් ඒ ගේහසිත උපේක්‍ෂායයි කියනු ලැබේ. (කෙලෙසුන් ඉක්ම නො පැවැත්ත හෙයින් ගේහසිතය යි කියනු ලැබේ. යනු සන්න යි.) අනෝධිජිත නම් ක්ලේශ අවධින් මාර්‍ග අවධි වශයෙන් නො දිනුයේ ය. අනාර්‍ය්‍යය යි සේ යි. අවිපාකජින නම් සිනලතම භවාදීන් මතුයෙහි පවත්නා විපාක සන්තතිය නො දිනුයේ යි. නැවත පූථුජ්ජනය යි කීයේ අන්‍ධ පුථුජ්ජනයා ගනු සඳහා ය.

 

ආදි - මධ්‍ය - අවශාන වශයෙන්

 

මේ සතර බ්‍ර‍හ්ම විහාරයන්ට ම කත්තුකම්‍යතා ඡන්‍දය ආදි වි. (සත්ත්‍වයන් කෙරෙහි හිතෙතෂි භාවය දුක් පහ කරනු කැමති බවය යනාදියෙන් අනවද්‍ය ප්‍රාර්‍ථනා වශයෙන් පවත්නා හෙයින් කත්තු කම්‍යතා ඡන්‍දය ආදිය යි කීහු උපේක්‍ෂො බ්‍ර‍හ්ම විහාරය ද සත්ත්‍වයන් කෙරෙහි අනිරාකෘත ඡන්‍ද ඇත්තේ ම වෙයි. එහි අව්‍යාවෘත බව ම අවිරුද්ධ ප්‍ර‍තිපත්තිනු යි ස්වකෘත්‍යයෙහි නියුක්ත පුතු කෙරෙහි මව මෙවන් අධ්‍යුපෙක්‍ෂණාකාරයෙන් පවතී යනු සන්න යි.)

 

නිවරණාදිය මැඩැ පැවැත්වීම මධ්‍යය යි. අර්පණාව අවසාන ය යි.

 


ප්‍ර‍ඥප්ති ධර්‍ම වශයෙන්, අරමුණු වැඩීම් වශයෙන්

 

මේ සතර බ්‍ර‍හ්ම විහාරයන්ට එක සත්ත්‍වයෙක් හෝ බොහෝ සත්ත්‍ව යෝ හෝ අරමුණු වෙති. (ප්‍ර‍ඥප්ති ධර්‍ම වශයෙන් යි කීයේ සත්ත්‍වයන් ගන්නා බැවිනි.) උපචාරයෙහි දී හෝ අර්පණාවට පැමිණි කල හෝ අරමුණු වැඩෙන්නේ ය. වැඩෙන ක්‍ර‍මය මෙසේ ය. දක්‍ෂ ගොවියා තමා සෑ යුතු තැන පිරිසිඳැ ගෙනැ සානා සේ මේ යෝගී ද පළමු කොටැ එක් ආවාසයන් පිරිසිඳ එහි වසන සත්ත්‍වයන් කෙරෙහි “මේ ආවාසයෙහි සත්ත්‍වයෝ අවෛර වෙත්වා” යනාදීන් මෙත් වඩන්නේ ය. එහි සිත මෘදු කොටැ කර්‍මණ්‍ය කොටැ ඉක්බිති ආවාස දෙකක් පිරි සිඳින්නේ ය. මෙසේ පිළිවෙළින් ආවාස තුනක් ද, සතරක් ද, පසක් ද, සයක් ද, සතක් ද, අටක් ද, නවයක් ද, දසයක් ද, එකවීථියක් ද, ගම් අඩක් ද, මුළු ගමක් ද, දනව්වක් ද, රාජ්‍යයක් ද, එක් දිසාවක් ද, එක් සක්වළක් තාක් ද, එයින් මතු ද පිරිසිඳැ එහි සතුන් කෙරෙහි මෙත් වඩන්නේ ය. මෙත සේ ම කරුණාදිය ද වඩන්නේ ය. මේ අරමුණු වඩන ක්‍ර‍මය යි.

 

නිස්සන්‍ද ඵල වශයෙන්

 

කසිණයන්ගේ නිස්සන්‍ද ඵලය අරූපධ්‍යාන යි. රූපධ්‍යාන සමාධීන්ගේ ද යට තුන් අරූපධ්‍යාන සමාධීන්ගේ ද නිස්සන්‍ද ඵලය නේවසඤ්ඤා නාසඤ්ඤායතනය යි. විදර්‍ශනායෙහි නිස්සන්‍ද ඵලය ඵල සමාපත්ති යි. සමථ-විදර්‍ශනායෙහි නිස්සන්‍ද ඵලය නිරෝධ සමාපත්තිය යි. එසේ ම මෙත්තා - කරුණා - මුදිතා යන බ්‍ර‍හ්ම විහාර තුනෙහි නිස්සන්‍දඵලය උපේක්ඛා බ්‍ර‍හ්ම විහාරය යි. ටැම් නූස්සා තුලාසංඝාට නොදී නිකම් අහස කුළු ගොනැස් නංවන්නට බැරියා සේ ප්‍ර‍ථම තුන් ධ්‍යාන නො වඩා සතර වන ධ්‍යානය වඩන්නට බැරි ය.

 

ප්‍ර‍ශ්න

1.  කුමක් හෙයින් මේ සතර බ්‍ර‍හ්ම විහාර යි කියනු ලැබේ ද

2.  මේ ගණන් වශයෙන් සතරෙක් ම වූයේ කිම

3.  මෙහි මේ ක්‍ර‍මය කිමෙක් ද

4.  කුමක් හෙයින් අභිධර්‍මයෙහි දී මෙයට අප්පමඤ්ඤාය යි කියනු ලැබේ ද

 

1. ශ්‍රේෂ්ඨය, නිර්දෝෂය යන අර්‍ථයෙන් මේ සතරට බ්‍ර‍හ්ම විහාරය යි කියනු ලැබේ. (සත්ත්‍වයන් කෙරෙහි යහපත් ප්‍ර‍තිපත්තියක් බැවින් මේ විහාර සතර ශ්‍රෙෂ්ඨ යි. සෙසු කමටහන් හු ආත්ම හිත ප්‍ර‍තිපත්ති මාත්‍ර‍ය හ. මෙහු වනාහි ‘සබ්බෙ සත්තා සුඛිතා හොන්තු’ යනාදීන් පරහිතප්‍ර‍තිපත්තිහු ය. යනු සන්න යි.)

 

බ්‍ර‍හ්මයෝ විනීවරණ බැවින් නිර්දෝෂ සිත් ඇති වැ වෙසෙති. මේ සතරින් යුක්ත යෝගීහු ද බ්‍ර‍හ්මයන් මෙන් නිර්දෝෂ සිත් ඇති වැ වෙසෙති. එ බැවින් මේ නිර්දෝෂ යි. මෙහි බ්‍ර‍හ්ම ශබ්දයෙන් බඹලොව බ්‍ර‍හ්මයෝ ද, මහාබොධිසත්ත්‍වයෝ ද ගැනෙත්.

 

2. මේ ගණන් වශයෙන් සතරක් ම වූයේ කිම

2. ‘විසුද්ධි මග්ගාදිවසා චතස්සො’ විශුද්ධි මාර්‍ගාදීන්ගේ වශයෙන් මේ සතරෙක් වූයේ ය. ආදි ශබ්දයෙන් මනසකාර ගන්නේ යි. මේ සතර අතුරෙන් මෛත්‍රිය ව්‍යාපාද බහුලයා හට ද කරුණාව විහිංසා බහුලයා හට ද, මුදිතාව අරති බහුලයා හට ද, උපේක්‍ෂාව රාග බහුලයා හට ද විශුද්ධිමාර්‍ග යි (ව්‍යාපාද සංකේලශාදීන් කෙරෙන් විශුද්ධියට උපාය වූයේ විශුද්ධිමාර්‍ග නම් යනු සන්න යි) එ බැවින් මේ විශුද්ධිමාර්‍ග වශයෙන් සතර වූයේ ය.

 

හිත එළවීම ය, අහිත දුරු කිරීම ය, සම්පත්තියෙහි සතුටුවීමය, උපේක්‍ෂා වීම යයි සත්ත්‍වයන් කෙරෙහි මනස්කාරය සතර ආකාර වේ. මව වනාහි ළදරු, ගිලන්, තරුණ, සිය කිසෙහි යෙදුණු යන සිව් පුතුන් අතුරෙන් ළදරු පුතු හට අභිවෘඬිය කැමති වෙයි. තරුණ පුතු හට ඒ තරුණ සැපතින් යුතු වැ චිරස්ථිතිය කැමති වෙයි. සිය කිසෙහි යෙදුණු පුතුහට කිසි දෙයෙක නො යෙදී මධ්‍යස්ථ වනු කැමති වෙයි. එසේ ම සතර බ්‍ර‍හ්ම විහාර වඩන යෝගී විසින් සියලු සතුන් කෙරෙහි මෛත්‍රී කළ යුතු ය කරුණා කළ යුතු ය. මුදිතා කළ යුතු ය. උපේක්‍ෂා කළයුතු යි. එබැවින් මෙය මනස්කාර වශයෙන් ද සතර ආකාර විය.

 

3. මෙහි මේ ක්‍ර‍මය කිමෙක් ද

3. “හිතාදි ආකාරවසා පනායං කමො” හිතාදි ආකාර වසයෙනි මේ ක්‍ර‍මය

මේ සතර බ්‍ර‍හ්ම විහාර වඩනු කැමැති යෝගීහු විසින් පළමු කොටැ සත්ත්‍වයන් කෙරෙහි හිතාකාර ප්‍ර‍වෘත්ති වශයෙන් පිළිපැදිය යුතු. මෛත්‍රිය හිතාකාර ප්‍ර‍වෘත්තිය ලක්‍ෂණ කොටැ ඇත්තේ ය. ඉක්බිති එසේ හිතවත් බව පැතූ සත්ත්‍වයන් දුකින් පෙළෙන බැව් දැක හෝ අසා හෝ සිතා හෝ දුක් දුරු කිරීම් ආකාරයෙන් පිළිපැදිය යුතු ය. කරුණාව දුක් දුරු කිරීම් ආකාරය ලක්‍ෂණ කොටැ ඇත්තේ ය. ඉක්බිති එසේ හිත පැතූ දුකින් දුරු කොටැ ගත් ඒ සත්ත්‍වයන් සැපසේ සිටිනු දැකැ එහි සතුටු වීම් වශයෙන් පිළිපැදිය යුතු මුදිතාව ප්‍රමෝදය ලක්‍ෂණ කොට ඇත්තේ ය.

 

ඉක්බිති එයින් මතු කළ යුතු නැති බැවින් ඔවුන් කෙරෙහි මධ්‍යස්ථ වැ පිළිපැදිය යුතු උපේක්‍ෂාව මධ්‍යස්ථාකාර ප්‍ර‍වෘත්තිය ලක්‍ෂණ කොටැ ඇත්තේ ය. මෙසේ හිතාදි ආකාර වශයෙන් පළමු කොටැ මෛත්‍රිය ද, ඉක්බිති කරුණාව ද, ඉක්බිති මුදිතාව ද, ඉක්බිති උපේක්‍ෂාව ද, දක්වන ලද්දේ ය. මේ ක්‍ර‍මය යි.

 

4. කුමක් හෙයින් අභිධර්‍මයෙහි දී මෙයට අප්පමඤ්ඤාය යි කියනු ලැබේ ද

4. “පවත්තන්ති ච අප්පමාණො තා ගොචරෙ යන තදප්පමඤ්ඤා” මේ සියලු බ්‍ර‍හ්ම විහරණ අප්‍ර‍මාණ අරමුණෙහි පවතී. අප්‍ර‍මාණ සත්ත්‍වයෝ මෙයට අරමුණු වෙති. උද්ධුමාතකාදි අසුභයෙහි ඒ ඒ ඉදිමී ගිය තැන් අරමුණු කරන්නා සේ එක සත්ත්‍වයකුගේ වත් මෙතෙක් පෙදෙසෙහි මෛත්‍රි වැඩිය යුතුය යි ප්‍ර‍මාණ කොට නො ගෙනැ මුළු සත්ත්‍වයා කෙරෙහි පැතිරවීම වශයෙන් වැඩිය යුතුය. එහෙයින් මෙයට අභිධර්‍මයෙහි දී අප්පමඤ්ඤාය යි කියන ලදී.

 

යට දැක්වුණු ප්‍ර‍ශ්න සතරටම උත්තර මේ ගාථායෙන් ප්‍ර‍කාශ වේ.

 

“විසුද්ධි මග්ගදිවසා චතස්සො

හිතාදි ආකාරවසා පනායං

කමො පවත්තන්ති ච අප්පමාණො

තං ගොචරෙ යෙන තදප්පමඤ්ඤා”

අර්‍ථ යට කියන ලදී.

 

ධ්‍යාන වශයෙන්

 

මෙසේ අප්‍ර‍මාණ සත්ත්‍වයන් අරමුණු කොටැ ඇති බැවින් එක ලක්‍ෂණ වූ ද මේ සතර බ්‍ර‍හ්මවිහරණ අතුරෙන් මෙත්තා-කරුණා-මුදිතා යන තුන චතුෂ්කනය වශයෙන් ත්‍රිකධ්‍යානික ය. පංචකනය වශයෙන් චතුෂ්ක ධ්‍යානික ය. කුමක් හෙයින් ද, සොමනස්සය හා නො වෙන් හෙයිනි. කුමක් හෙයින් මේ තුන සොමනස්සය හා නො වෙත් ද, සොමනස්සයෙන් උපදනා ව්‍යාපාද - විහිසං-අරතීන් ගේ නිස්සරණ හෙයිනි. කාමාදීන්ට නිස්සරණ වූ නෙක්ඛම්මාදීන් මෙන් දොම්නස් සැපියුතු ව්‍යාපාදාදීන්ට නිස්සරණ වූ මෙත් ආදීහු සොම්නස් සහ ගියා වෙති යන අර්‍ථ යි. නිස්සරණ ග්‍ර‍හණයෙන් ම පූර්‍වභාග වූ මෙත්තාදීන් ගේ උපේක්‍ෂා සමප්‍රයොගය ද අනුඥාත යයි දත යුතු. එහෙයින් ම ඇදුරෝ අටවිසි සිතෙක්හි කරුණා-මුදිතාවන් ගේ ප්‍ර‍වෘත්තිය පසසති යි දත යුතු’ යනු සන්නයි.)

 

උපේක්‍ෂාව වනාහි අවශේෂ ඒකධ්‍යානික ම ය. කුමක් හෙයින් ද, උපේක්‍ෂාව වේදනාව හා සම්ප්‍ර‍යුක්ත හෙයිනි.

 

ඒ එසේ මැ යි :-සත්ත්‍වයන් කෙරෙහි මධ්‍යස්ථාකාරයෙන් පවත්නා බ්‍ර‍හ්ම විහාරොපේක්‍ෂාව උපේක්‍ෂා වේදනාව නැති වැ නො පවත්නේ ය.

 

විචාරණයෙකි.

 

භගවත් බුදුන් විසින් අඞේගාත්තර අෂ්ටක නිපාතයෙහි දී “තතො ත්‍වං භික්ඛු ඉමං සමාධිං සවිතක්කම්පි සවිචාරං භාවෙය්‍යාසි, අවිතක්කම්පි විචාරමත්තං භාවෙය්‍යාසි, අවිතක්කම්පි අවිචාරං භාවෙය්‍යාසි. සප්පීතිකම්පි භාවෙය්‍යාසි. නිප්පීතිසහගතම්පි භාවෙය්‍යාසි, සාතසහගතම්පි භාවෙය්‍යාසි, උපෙක්ඛාසහගතම්පි භාවෙය්‍යාසි[345] යි ධ්‍යාන සතර-සතර බ්‍ර‍හ්ම විහාරයෙහි ලා අවිශේෂයෙන් වදාරන ලද්දේ ය. එහෙයින් සතර බ්‍ර‍හ්මවිහරණ ම චතුෂ්ක-පංචක ධ්‍යානිකය යි යමෙක් කියා නම් ඔහුට ‘එසේ නො කියව’ යි කිය යුතු. ඉදින් එසේ කියා නම් කායානුපස්සනාදිය චතුෂ්ක පංචක ධ්‍යානිකය යි කියන්නට සිදු වේ. වේදනානුපස්සනාදියෙහි ප්‍ර‍ථමධ්‍යානය පවා නැති කල ද්ද්‍විතීයද්‍ධ්‍යානාදිය කොයින් ලැබේ ද, එහෙයින් ව්‍යඤ්ජනච්ඡායා මාත්‍ර‍ය ගෙනැ භගවත් බුදුන් හට අබ්භාවික්ඛනය නො කළ යුතු. බුද්ධවචනය ගැඹුරු ය. ආචාර්‍ය්‍යයන් ඇසුරු කොට අධිප්‍රාය වශයෙන් ගත යුතු ය. මේ එහි අධිප්‍රාය යි.

 

‘භගවත් බුදුනි! මම් බුදුන් ගේ යම් ධර්‍මයක් අසා හුදෙකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ අප්‍ර‍මත්ත වැ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති වැ වාසය කරම් ද එබඳු ධර්‍මයක් මට සැකෙවින් වදාළ මැනවැ’යි එක් භික්‍ෂුනමෙක් ධර්‍මදේශනාව පිණිස බුදුන් අයැදියේ ය. ඒ භික්‍ෂු පෙරත් බුදුන්ගේ ධර්‍මය අසා ඊම රැඳේ. මහණුවම් කරන්නට කොහිත් නො යේ. එහෙයින් ඔහුට භගවත් බුදුහු ‘එසේ යැ මෝඝපුරුෂය ඇතැම් කෙනෙක් මට ධර්‍ම දේශනා පිණිස අයදිති. ධර්‍මය දෙසූ කල මා ම ලුහුබැඳිය යුතු කොටැ සිතති’යි නින්දා වදාරා යළි රහත් බවට හේතු සම්පත් ඇති ඒ භික්‍ෂු හට අවවාද කරන සේක් මෙසේ වදාළ සේක.

 

“තස්මාතිහ තෙ භික්ඛු එවං සික්ඛිතබ්බං අජ්ඣත්තං මෙ චිත්තං ඨිතං භවිස්සති, සුසණ්ඨිතං නචුප්පන්නා පාපකා අකුසලා ධම්මා චිත්තං පරියාදාය ඨස්සන්ති ති එවංගි තෙ භික්ඛු සික්ඛිතබ්බං”[346] යි. මහණ! එසේ නම් තා විසින් මෙසේ හික්මිය යුතු. මගේ සිත අධ්‍යාත්මයෙහි ම ස්ථිත-සූස්ථිත වන්නේ ය. උපන් ලාමක අකුශල ධර්‍ම සිත අල්වා නො ගෙනැ සිටින්නේ ය. මහණ! තා විසින් මෙසේ හික්මිය යුතු’ යනු එහි අර්‍ථ යි. මේ අවවාදයෙන් ඒ භික්‍ෂුහට නියකජ්ඣත්ත වසයෙන් චිත්තෙතග්‍ර‍තාමාත්‍ර‍ වූ මූල සමාධිය වදාරන ලද්දේ ය. ඉක්බිති මේ මූල සමාධියෙන් ම සෑහීමට නො පැමිණැ ඒ සමාධිය මෙසේ මතු වැඩිය යුතු ය යි දක්වන්නට “යතො ඛො තෙ භික්ඛු අජ්ඣත්තං චිත්තං ඨිතං හොති සුසණ්ඨිතං. නචුප්පන්තා පාපකා අකුසලා ධම්මා චිත්තං පරියාදාය. තිට්ඨන්ති. තතො තෙ භික්ඛු එවං සික්ඛිතබ්බං මෙත්තා මෙ චෙතොවිමුත්ති භාවිතා භවිස්සති බහුලිකතා යානීකතා වත්‍ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්‍ධා ත. එවං හි තෙ භික්ඛු සික්ඛිතබ්බං”1 යි මෛත්‍රී වශයෙන් භාවනාව වදාරන ලද්දේ ය. වදාරා යළි “යතො ඛො තෙ භික්ඛු අයං සමාදි එවං භාවිතො හොති බහුලීකතො තතො ත්‍වං භික්ඛු ඉමං සමාදිං සවිතක්කම්පි සවිචාරං භාවෙය්‍යාසි -පෙ- උපෙක්ඛා සහගතම්පි භාවෙය්‍යාසි1 යි වදාරන ලද්දේ ය.

 

එහි අදහස මෙසේ ය:- ‘මහණ! යම් කලෙක තා විසින් මේ මූල සමාධිය මෙසේ මෛත්‍රී වශයෙන් වඩන ලද්දේ ද, එකල තෝ එ පමණෙකින් සතුටට නො පැමිණැ මේ මූල සමාධිය සෙසු පඨවි කසිණාදි අරමුණුවල චතුෂ්ක - පඤ්චකධ්‍යානයන්ට පමුණුවමින් සවිතර්‍ක - සවිකාරාදි වශයෙන් වඩව’යි වදාරා යළි කරුණාදි සෙසු බ්‍ර‍හ්ම විහාර පූර්‍වඞ්ගම වූ භාවනාව අන්‍ය අරමුණුවල චතුෂ්ක පඤ්චධ්‍යාන වශයෙන් වඩව’යි වදාරන්නට “යතො ඛො තෙ භික්ඛු අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො, තතො තෙ භික්ඛු එවම්පි සික්ඛිතබ්බං කරුණා චෙතො විමුත්තී” යනාදීන් වදාළේ ය.

 

මෙසේ මෛත්‍ර‍්‍යාදි පූර්‍වඞ්ගම වූ භාවනාව චතුෂ්ක-පඤ්චක ධ්‍යාන වශයෙන් වදාරා යළි කායානුපස්සනාදි පූර්‍වඞ්ගම වූ භාවනාව දක්වන්නට “යතො ඛො තෙ භික්ඛු අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො. තතො තෙ භික්ඛු එවං සික්ඛිතබ්බං කායෙ කායානුපස්සී විහරිස්සාමි” යනාදීන් වදාළේ ය. වදාරා “යතො ඛො තෙ භික්ඛු අයං සමාධි එවං භාවිතො භවිස්සති සුභාවිතො, තතො ත්‍වං භික්ඛු යෙන යෙනෙව ගච්ඡසි ඵාසුඤ්ඤෙච ගච්ඡසි, යත්‍ථ යත්‍ථෙව ඨස්සසි ඵාසුඤ්ඤෙච ඵස්සසි, යත්‍ථ යත්‍ථෙව නිසීදිස්සසි ඵාසුඤ්ඤෙච නිසිදිස්සසි, යත්‍ථ යත්‍ථෙච සෙය්‍යං කප්පෙසි ඵාසුඤ්ඤෙච සෙය්‍යං කප්පෙසි[347] යි අර්‍හත් නිකුටයෙන් දේශනාව නිමකළ සේක. එහෙයින් මෛත්‍රී ආදිය ත්‍රික චතුෂ්ක ධ්‍යානික ය. උපේක්‍ෂාව සෙසු එකධ්‍යානික ම ය යි දත යුතු. අභිධර්‍මයෙහි ද මෙය මෙසේ ම දක්වන ලදි. (පාලියෙහි අර්‍ථ සුගම හෙයින් නො දැක්විණි. මෙත්තා - කරුණා - මුදිතා චතුෂ්කනය වශයෙන් ත්‍රික ධ්‍යානික ය. පඤ්චක නය වශයෙන් චතුෂ්ක ධ්‍යානික ය. උපේක්‍ෂාව චතුෂ්ක නය වශයෙන් චතුර්‍ථ ධ්‍යානික ය. පඤ්චක නය වශයෙන් පඤ්චම ධ්‍යානික ය. අංගුත්තර අට්ඨක නිපාතයෙහි සූත්‍ර‍ය වරදවා තේරුම් ගෙන මෙය වෙනස් කැරැ නො ගත යුතු යයි කී සේ යි.)

 

ශුභ පරමාදි වශයෙන්

 

මෙසේ ත්‍රික-චතුෂ්ක ධ්‍යාන වශයෙන් ද, සෙසු ඒක ධ්‍යාන වශයෙන් ද යන දෙයාකාරයෙකින් බෙදී සිටි මේ සතර බ්‍ර‍හ්ම විහරණ පිළිබඳ ශුභ පරමාදි වශයෙන් අන්‍යෝන්‍ය විසදෘශ වූ අනුභාව විශේෂය දතයුතු. හලිද්දිවසන සූත්‍රයෙහි දී මේ සතර ශුභපරමාදි වශයෙන් විශේෂ කොටැ වදාළේ ය.

 

ඒ මෙසේ ය:-

 

“සුභපරමාහං භික්ඛවෙ මෙත්තා චෙතොවිමුත්ති වදාමි. ආකාසානඤ්චායතනපරමාහං භික්ඛවෙ කරුණා චෙතො විමුත්තිං වදාමි. විඤ්ඤාණඤ්චායතන පරමාහං භික්ඛවෙ මුදිතා චෙතොවිමුත්ති වදාමි. ආකිඤ්චඤ්ඤායතන පරමාහං භික්ඛවෙ උපෙක්ඛා චෙතොවිමුත්ති වදාමි”[348] ‘මහණෙනි! මෛත්‍රි චේතෝ විමුක්තිය ශුභ විමොක්‍ෂය පරම කොටැ ඇතැයි කියමි. කරුණා චේතෝ විමුක්තිය ආකාසානඤ්චායතනය පරම කොටැ ඇතැයි කියමි. මුදිතා චේතෝ විමුක්තිය විඤ්ඤාණඤ්චායතනය පරම කොටැ ඇතැයි කියමි. උපේක්‍ෂා චේතෝ විමුක්තිය ආකිඤ්චඤ්ඤායතනය පරම කොටැ ඇතැයි කියමි, යනු එහි අර්‍ථ යි.

 

කුමක් හෙයින් මේ මෙසේ වදාළේ ද, මෛත්‍රී ආදි සතර ශුභවිමොක්‍ෂාදි සතරට උපනිශ්‍ර‍ය වන හෙයිනි.

 

ඒ එසේ මැ යි:

 

මෛත්‍රී විහාරි පුද්ගලයා හට සත්ත්‍වයෝ පිළිකුල් නො වෙති. සත්ත්‍වයන් කෙරෙහි පිළිකුල් නැති පුරුද්දෙන් ස්වභාවයෙන් පිළිකුල් නුවූ නීලාදි පිරිසිදු වර්‍ණයෙහි දු සිත මෙහෙයන විට අනායාසයෙන් ම සිත එහි වැදැ ගෙන සිටී. එබැවින් මෛත්‍රිය ශුභ විමෝක්‍ෂයට උපනිශ්‍ර‍ය වේ. එයින් මතු කිසි විමෝක්‍ෂයකට උපනිශ්‍ර‍ය නො වේ. එහෙයින් මෛත්‍රිය ශුභ පරම යයි වදාළේ ය. මෙහි ශුභ ශබ්දය “සුභංත්‍වෙව අධිමුත්තො හොති”යි මෙසේ කියන ලද ශුභ විමෝක්‍ෂය සඳහා උත්තර පද ලෝපයෙන් කියන ලද, පරම ශබ්ද උත්තමාර්‍ථ යි’ යනු සන්න යි)

 

කරුණා විහාරී පුද්ගලයා හට සත්ත්‍වයන් කෙරෙහි වැටෙන දඬු පහට ආදි රූප නිමිති දුක් දකින විට කරුණාව උපදින බැවින් රූපයෙහි ආදිනව ප්‍ර‍කට වෙයි. රූපයෙහි ආදීනව ප්‍ර‍කට බැවින් පඨවි කසිණාදීන් අතුරෙන් කිසිවක් උගුලා රූප රහිත ආකාශයෙහි සිත මෙහෙයන කල සිත අනායාසයෙන් ම එහි වැදගෙනැ සිටී. මෙසේ කරුණාව ආකාසානඤ්චායතනයට උපනිශ්‍ර‍ය වේ. එයින් මතු කිසිවකට උපනිශ්‍ර‍ය නො වේ. එහෙයින් කරුණාව ආකාසානඤ්චායතනය පරම කොටැ ඇතැයි වදාළේ ය.

 

මුදිතා විහාරි පුද්ගලයා හට භෝග සම්පත් ආදි ඒ ඒ ප්‍රමෝද්‍ය කාරණයෙන් සත්ත්‍වයන්ට උපන් ප්‍රමෝද්‍ය විඥානය දක්නා කල මුදිතාව උපදින බැවින් විඥාන ග්‍ර‍හණයෙහි පුරුදු කරන ලද සිත ඇතිවන්නේ ය. ඉක්බිති අනුක්‍ර‍මයෙන් ලැබැගත් ආකාසානඤ්චායතනය ඉක්මැ ආකාශ නිමිත්ත ගෝචර කොටැ ඇති විඥානයෙහි වැදැගෙනැ සිටී. මෙසේ මුදිතාව විඤ්ඤාණඤ්චායතනයට උපනිශ්‍ර‍ය වේ. එයින් මතු කිසිවකට උපනිශ්‍ර‍ය නොවේ. එහෙයින් මුදිතාව විඤ්ඤාණඤ්චායතනය පරම කොටැ ඇතැයි වදාළේ ය.

 

උපේක්‍ෂාවිහාරී පුද්ගලයා හට සත්ත්‍වයෝ සුවපත් වෙත්වා කියා හෝ දුකින් මිදෙත්වා කියා හෝ පැමිණි සැපයෙන් නො ගිලිහෙත් වා කියා හෝ අභොග නැති බැවින් සුඛ-දුක්ඛාදි පරමාර්‍ථ ග්‍ර‍හණයට විමුඛ හෙයින් අවිද්‍යමාන ප්‍ර‍ඥප්ති ගැන්මෙහි දක්‍ෂ වූ සිත ඇති වේ. පරමාර්‍ථ ග්‍ර‍හණයෙන් විමුඛභාවය පුරුදු කළ පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තිය ගැනීමෙහි සිත් ඇති ඔහුට අනුක්‍ර‍මයෙන් ලැබ ගත් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ ස්වභාවයෙන් අවිද්‍යමාන වූ පරමාර්‍ථ වූ විඥානයාගේ අභාවයෙහි සිත මෙහෙයන කල ඔහු ගේ ඒ සිත අනායාසයෙන් ම ආකිඤ්චඤ්ඤායතනයෙහි වැදැගෙනැ සිටි යි. මෙසේ උපේක්‍ෂාව ආකිඤ්චඤ්ඤායතනයට උපනිශ්‍ර‍ය වේ. එයින් මතු කිසිවකට උපනිශ්‍ර‍ය නොවේ. එබැවින් උපෙක්‍ෂාව ආකිඤ්චඤ්ඤායතනය පරම කොටැ වදාළේ ය.

 

දානාදී සියලු කල්‍යණ ධර්‍ම පිරීම් වශයෙන්

 

යට කියූ පරිදි සුභ පරමාදි වශයෙන් මේ සතර බ්‍ර‍හ්ම විහරණයන් ගේ අනුභාව දැනැ ඉක්බිති ඒ සතර දානාදි සියලු කල්‍යාණ ධර්‍ම පුරාලන බව දත යුතු.

 

ඒ එසේ මැ යි:-

 

සතුන් කෙරෙහි හිත අදහස් ඇති බැවින් ද, සතුන් ගේ දුක් නො ඉවසන බැවින් ද, සතුන්ගේ සම්පත් පිළිබඳ චිරස්ථිතිය කැමැති බැවින් ද, සතුන් කෙරෙහි පක්‍ෂපාත නැති බැවින් ද, යන සතර කාරණයෙන් සියලු සතුන් කෙරෙහි සම සිත් ඇති මහා සත්‍වයෝ ‘මොහුට දිය යුතු ය. මොහුට නො දිය යුතුය’ වන වෙනසක් නො සිතා සියලු සතුන් හට සුව නිදන් කොට ඇති දන් දෙති. ඒ සතුන්ගේ පීඩා වළකන්නාහු සිල් සමාදන් වෙති. සිල් පුරනු සඳහා නෛෂ්ක්‍ර‍ම්‍යය පුරති සතුන් ගේ හිත - අහිත දෙක්හි නුමුළා වනු පිණිස ප්‍ර‍ඥාව පිරිසිදු කෙරෙති. සතුන්ට හිත සුව පිණිස නිතර වීර්‍ය්‍ය වඩති. උතුම් වීර්‍ය්‍ය වශයෙන් ධීර භාවයට පැමිණැ ද සතුන්ගේ නානාවිධ අපරාධ ඉවසති. මේ තොපට දෙමු. මේ තොපට කරමු’යි කළ පිළිණ විසංවාද නො කෙරෙති. සතුන් කෙරෙහි අචල මෛත්‍රියෙන් පූර්‍වකාරීහු වෙති. උපකාර කොටැ ප්‍ර‍ත්‍යුපකාර නො පතති. මෙසේ මේ දස පාරමීන් පුරා දශ බල, චතුර් වෛශාරද්‍ය, ෂට් අසාධාරණඥාන අෂ්ටාරස බුද්ධධර්‍ම යන ප්‍රභෙද ඇති සියලු කල්‍යාණ ධර්‍ම පරිපූර්‍ණ කරන බව දත යුතු.

 

“ඨානාඨානං විපාකඤ්ච - මග්ගං සබ්බත්‍ථගාමිනං

අනෙකධාතුයො ලොකෙ - අධිමුත්තිඤ්ච පාණිනං

ජානාති ඉන්‍ද්‍රියානඤ්ච - පරොපරියතං මුනී

ඣානාදි සංකිලෙසාදි - ඤාණං විජ්ජාත්තයං තථා මේය දස බල නම්.

 

“වෙසාරජ්ජානි චත්තාරි - බඬත්තෙ ආසවක්ඛායෙ

අන්තරායෙ ව නීයානෙ - යෙහි බුද්‍ධො විසාරදො” මේය චතුවෛශාරද්‍ය නම්

 

ඉන්‍ද්‍රිය පරොපරියත්ත ඤාණය

ආසයානුසය ඤාණය

යමක පාටිභීර ඤාණය

මහා කරුණා සමාපත්ති ඤාණය

සබ්බඤ්ඤුත ඤාණය

අනාවරණ ඤාණය

 

මේය ෂඩ් අසාධාරණ ඥාන නම්.

“තිඤාණමද්ධසු අනාගතාදිසු - තිකම්මඤාණං විගතං විසුඬං

අහානි ඡන්‍දස්ස ච දෙසනාය - සමාධි පග්ගාහ විමුත්ති ධීනං

දවා රවා අප්ඵුතමෙව නත්‍ථි - වෙගායිතව්‍යාවටචිත්තතා ච

නෙවත්‍ථි තස්සප්පටිඝංවුපෙක්ඛා - තෙ හොන්ති අට්ඨාරස බුඬධම්මා”

 

“අතීතෙ බුද්‍ධස්ස භගවතො අප්පටිහතං ඤාණං” යනාදි තුන් කල්හි නො පැකිළැ පවත්නා තුන් නුවණ තුන් බුද්ධ ධර්‍ම වෙයි. “ඉමෙහි තීහි ධම්මෙහි සමන්නාගතස්ස බුද්‍ධස්ස භගවතො සබ්බං කායකම්මං ඤාණපුබ්බඞ්ගමං ඤාණානුපරිවත්තිකං[349] යනාදි නුවණ අනු වැ වැටෙන තුන් කර්‍මය තුන් බුද්ධ ධර්‍මය වේ. “ඉමෙහි ජහි ධම්මෙහි-සමන්තා-ගතස්ස බුඬස්ස භගවතො නත්‍ථි ඡන්‍දස්ස හානි නත්‍ථි ධම්ම දෙසනාය හානි, නත්‍ථි පඤ්ඤාය හාති” යනු ෂට් බුද්ධ ධර්‍මවෙයි. මේ ෂට් බුද්ධ ධර්‍මයෙන් සමන්විත වූ සර්‍වඥයන් වහන්සේට කෙළනා සේ ක්‍රියාවෙක් නැති. සහසා කරන ක්‍රියාවෙක් නැති ඥානයෙන් අපෘෂටයෙක් නැති. වෙලෙවි ක්‍රියාවෙක් නැති. නිරත්‍ථක සිත් හසරෙක් නැති. අඥානෝපේක්‍ෂා නැත්” මොහු ෂට් බුද්ධ ධර්‍ම වෙත්. මොහු හැම එක් වැ අටලොස් බුද්ධ ධර්‍ම ය යි කියනු ලැබෙත්” යනු සන්නයි.)

 

හුදී ජන පහන් පිණිස කළ විශුද්‍ධි මාර්‍ගයෙහි සමාධි

භාවනාධිකාරයට ඇතුළත් බ්‍ර‍හ්ම විහාර නිර්‍දෙශ නම්

නව වන පරිච්ඡේද යි.

 


 

සිංහල විශුද්ධි මාර්ගය

 

10 පරිච්ඡේදය

 

ආරුප්‍ය නිර්දේශය

 

නමො භගවතො සම්මාසම්බුද්ධස්ස

 

සතර බ්‍ර‍හ්ම විහාරයනට අනතුරුවැ දක්වන ලද සතර අරූප ධ්‍යානයන් අතුරෙන් පළමුවන ආකාසානඤ්චායතන ධ්‍යානය වඩනු කැමැති යෝගාවචර තෙමේ

 

“දිස්සන්තෙ ඛොපන රූපාධිකරණං දණ්ඩාදාන සත්‍ථාදාන කලහ විග්ගහ විවාද, නත්‍ථි ඛො පනෙ තං සබ්බසො ආරුප්පෙති. සො ඉති පටිසංචික්ඛාය රූපානං යෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති[350]

 

“රූපය හේතුකොටගෙන මෙරමා පෙරළීම පිණිස දඬු-මුගුරු ගැනීම ද, කඩු-දුනු ආදි ආයුධ ගැනීම ද, ඔවුනොවුන් හා කරන කලහ විග්ගහ විවාදයෝ ද, පැනෙත්මය. ඒ සියල්ල සර්‍වප්‍ර‍කාරයෙන් අරූපි භවයේ නැතැයි ද, මෙසේ නුවණින් සලකා ඉෂ්ටානිෂ්ට සියලු රූපයන්ගේ ම කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ යැයි” වදාළ හෙයින් ඒ දඬු මුගුරු ගැනීම් ආදියේ ද, ඇස්-කන් ලෙඩ ඈ දහස් ගණන් රෝගයන්ගේ ද, වශයෙන් මේ කරජ රූපයෙහි දොස් දැක එය බැහැර කිරීම පිණිස පරිච්ඡින්න ආකාස කසිණය හැර පඨවි ආදි නවවිධ කසිණයන් අතුරෙන් එක්තරා කසිණයක් වඩා රූපාවචර චතුත්‍ථධ්‍යානය උපදවයි.

 

හුදෙක් ඒ යෝගියා විසින් රූපාවචර චතුත්‍ථ ධ්‍යානයාගේ වශයෙන් කරජරූපය ඉක්මවන ලද්දේ වෙයි. එතෙකුදු වුවත් කසිණ රූපය ද කරජ රූපය හා සදෘශවන බැවින් ඒ කසිණ රූපය වූ ප්‍ර‍තිභාග නිමිත්ත ද ඉක්මවනු කැමැති වේ.

 

කෙසේද?

 

සර්‍පයන්ට බියවූවෙක් අරණ්‍යයෙහි දී සර්‍පයකු විසින් ලුහුබඳින ලදුවැ වේගයෙන් පලගොස් ඒ පලාගිය තන්හිදී බිම ඇඳි සර්‍පාකාර රේඛාවක් හෝ තල්පතක් හෝ වැලක් හෝ රැහැනක් හෝ පොළොව පැළි විවරයක් හෝ දුරදී දැක බියවේමැ යැ. තැතිගැනේමැ යැ. ඒ දැක්මට පවා නොකැමති වේ මැයි.

 

එසේ ම එක් ගමෙහි වසන විරෝධී අනත්‍ථකාරී පුරුෂයකු විසින් කළ වධ බන්‍ධන ගෙහජ්ඣාපනාදි උපද්‍ර‍වයෙන් පෙළුණු පුඟුල් තෙමේ අන් ගමකට වාසය පිණිස ගොස් එහිදී ද එබඳු රූ සටහන් කටහඬ ගමන-බිමන ඇති පුරුෂයෙකු දැක හෙතෙමේ මැ යැයි බියවේමැ යැ. තැතිගැනේමැ යැ. ඔහු දකින කැමති නොවේ මැයි.

 

එහි මේ උපමාන උපමෙය සංසන්‍දනය යි.

 

ඒ පුරුෂයාහට සර්‍පයා හා විරෝධි පුරුෂයා විසින් පීඩා කළ කාලය මෙන් යෝගාවචර භික්‍ෂුවගේ අරමුණු කිරීම් වශයෙන් කරජ රූපය හා එක් වූ කාලය ද, ඔවුන් වේගයෙන් පලායාම හා අන් ගමකට යාම මෙන් භික්‍ෂුවගේ රූපාවචර චතුර්‍ථධ්‍යාන වශයෙන් කරජ රූපය ඉක්මවන කාලය ද, ඔවුන් පැන ගිය තැන බිම ඇඳි ඉරි තල්පත් ආදිය හා අන්ගමෙහි මේ සතුරා වැනි පුරුෂයා දැක බිය හා තැති ගැනුම් නොදක්නා කැමති බව මෙන් භික්‍ෂුවගේ කසිණ රූපය හා කරජ රූපය වැනියැ යි සලකා ඒ ප්‍ර‍තිභාග නිමිත්ත ඉක්මවනු කැමැති බව ද ගළපා දත මැනැවි.

 

මෙහිලා හූරකු විසින් පහරන ලද බලුය, පිසාච භීරුක පුරුෂය යනාදි උපමා ද දත යුතුය. මෙසේ ඒ යෝගාවචර තෙමේ චතුර්‍ථ ධ්‍යානයට අරමුණු වූ ඒ පටිභාග නිමිත්ත වූ කසිණ රූපයෙන් කළකිරී ඒ රූපයෙන් පහවනු කැමැති වැ පස් ආකාරයෙකින් පුරුදු කළ වශග බැව් ඇතියේ පුහුණු වූ චතුර්‍ථ ධ්‍යානයෙන් නැගී මේ ධ්‍යානය මා කළකිරුණු රූපය අරමුණු කෙරේයැ යි ද, ළංවූ සොම්නස් නැමැති සතුරා ඇතැයි ද, අරූප ධ්‍යානයට වඩා ඖදාරිකයැ යි ද, ඒ චතුර්‍ථධ්‍යානයෙහි දොස් දකී.

 

“යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා[351] යනු හෙයින් රූපය ඉක්මවා ලැබූ මේ අරූපධ්‍යානය සන්ත විමොක්ඛ නම් වේ. අඞ්ග වශයෙන් ඖදාරික බවෙක් නැති. රූපාවචර චතුර්‍ථධ්‍යානයෙහි මෙන් මෙහි ද උපෙක්ඛා - එකග්ගතා යන අඞ්ග දෙක ම යෙදෙන හෙයිනි. ඒ යෝගී තෙමේ මෙසේ චතුර්‍ථධ්‍යානයෙහි ආදීනව දැක ධ්‍යාන නිකාන්තිය දුරුකොට ආකාසානඤ්චායතන ධ්‍යානය ශාන්ත වශයෙන් ද, අනන්ත වශයෙන් ද, මෙනෙහි කොට සක්වළ අවසන්කොට හෝ තමා කැමැති තාක් පෙදෙසකැ හෝ කසිණාලෝකය පතුරුවා එයින් පැතිරි පෙදෙස “අහස-අහස” යැයි හෝ “අනන්තාකාස” යැයි හෝ මෙනෙහි කරමින් ඒ කසිණාලෝකය උගුළුවයි. උගුලුවන්නේ ද වනාහි හුදෙක් පැදුරක් මෙන් නොද හකුළුවයි. කබලකින් කැවුමක් මෙන් නොද උදුරයි.

 

හුදෙක් ඒ කසිණාලෝකය මෙනෙහි නොකොට එය පැතුරුණු අහස ගැන සිහිකරමින් “ආකාසය, ආකාසයැ”යි නැවත නැවත කියත් ම ඒ අවකාශ මාත්‍ර‍ය ම පැනේ. එසේ වන්නා හා මැ කසිණාලම්බනය පහව යේ. මේ යැ කිසුණු ඉගිළීම නම්.

 

කසිණුගඝාටිමාකාසය, කසිණඵුට්ඨාකාසය, කසිණවිවිත්තාකාසය යන මේ සියල්ල එක මැයි. ඒ යෝගාවචර තෙමේ කිසුණු ඉගුළු ආකාස නිමිත්ත ම “අහසය” “අහසයැ යි” නැවත නැවත ආවර්‍ජනා කෙරෙයි. තර්‍කාහත විතර්‍කාහත කෙරෙයි. මෙසේ කරන්නා වූ ඔහුගේ කාමච්ඡන්‍දාදි නීවණයෝ විෂ්කම්භනය වෙත්. ආකාස නිමිත්ත අරමුණු කළ සිහිය මනාව පිහිටයි. උපචාර ධ්‍යානයෙන් සිත එකඟ වේ. හෙතෙම ඒ ආකාස නිමිත්තම නැවත නැවත ආසේවනය කෙරෙයි. වැඩීම කෙරෙයි. බහුල වශයෙන් කෙරෙයි. මෙසේ කරන්නාවූ ඒ යෝගාවචරයාහට පඨවි කසිණාදියෙහි රූපාවචර ධ්‍යාන චිත්තය මෙන් කිසුණු ඉගුළු අහස්හි ආකාසානඤ්චායතන ධ්‍යාන චිත්තය පිහිටයි.

 

මේ ධ්‍යානයෙහි ද පූර්‍වභාගයෙහි මන්‍ද පඤ්ඤයාගේ වශයෙන් පරිකර්‍මාදි කාමාවචර ජවන් සිත් සතරක් හෝ තික්ඛ පඤ්ඤයාගේ වශයෙන් උපචාරාදි තුනක් හෝ උපේක්‍ෂා වේදනා සම්ප්‍ර‍යුක්තවැ ඉපිද පස්වනු වැ හෝ සිව්වනු වැ අරූපාවචර ධ්‍යාන චිත්තය වේ. සෙස්ස පඨවි කසිණයෙහි කීසේ යැ.

 

මේ විශේෂයැ:- මෙසේ අරූපාවචර ධ්‍යානය උපන් කල්හි මුදුනෙහි පටන් වැසූ සිවිකාදි යානයෙක හෝ කුඩා දොරටුවෙක හෝ කළයෙක හෝ මුඛයක් නිල්, රන්වන්, රතු, සුදු, ඈ පැහැ ඇති එක්තරා රෙදි කඩෙකින් බැඳ බලන පුරුෂයෙක් වාත වේගයෙන් හෝ වෙනයම් කිසිවකින් හෝ රෙදි කඩ පහව ගිය කලැ අහස මැ බලමින් යම්සේ සිටී ද? එසේ ඒ යෝගී තෙමේ පෙර නීල-පීතාදි යම්කිසි කසිණයකින් උපදවා ගත් කසිණ මණ්ඩලය උපචාර ධ්‍යාන නමැති ඇසින් බලමින් සිට “ආකාස කසිණ යැ” “ආකාස යැ” යන මේ පරිකර්‍ම මනස්කාරයෙන් වහා ඒ කසිණ නිමිත්ත පහව ගිය කල්හි අරූපාවචර ධ්‍යාන නමැති ඇසින් බලමින් වාසය කෙරේ.

 

මෙතෙකින් මේ ධ්‍යාන ලාභී තෙමේ “සබ්බසො රූප සඤ්ඤානං සමතික්කමා පටිඝ සඤ්ඤානං අත්‍ථඞ්ගමා නානත්ත සඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති[352] යනු වදාළ හෙයින් “සර්‍වප්‍ර‍කාරයෙන් රූප සංඥා අස්තඞ්ගමයෙන් නානත්‍වසංඥා මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයැ යි” මෙසේ ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසේ යයි කියනු ලැබේ.

 

 

විස්තරාර්ථ

සබ්බසො = (රූප නිමිත්ත දණ්ඩාදානාදීන්ගේ වශයෙන් දොෂ දර්‍ශනයෙන්) සර්‍වාකාරයෙන් යන අර්‍ථ යි.

 

රූපසඤ්ඤානං = සංඥා ශීර්‍ෂයෙන් වදා රූපාවචර ධ්‍යානයන්ගේ ද, ඔවුනට අරමුණු වූ පඨවි කසිණාදි රූපාලම්බණයන්ගේ ද යනු අර්‍ථ යි. (රූප සංඥාවන්ගේ)

 

(1) රූපී රූපාති පස්සති”[353] (රූපාවචර ධ්‍යාන ලාභීතෙමේ) ධ්‍යාන චක්‍ෂුසින් කසිණ රූපය බලයි. යනාදි තන්හි මෙන් මෙහි රූපාවචර ධ්‍යානය රූපයැ යි ගැනේ. “රූපාවචරඣානාති” යි කිවමනා තැන පරපද ලෝපයෙන් “රූපානි”යි කීසේ ද

 

“රූපූපපතතියා මග්ගං භාවෙති”[354] යන්නෙහි “රූපභවො” යි කිවමනා තන්හි පරපද ලෝපයෙන් “රූප” යැයි කීසේ ද මෙහි ද රූපාවචර ධ්‍යානය “රූප” යැයි කියනලදි. එහෙයින් රූපෙසඤ්ඤා රූපසඤ්ඤා යි රූපාවචර ධ්‍යානයෙහි සංඥාව රූප සංඥා යැයි මෙහි අර්‍ථ පක්‍ෂයෙකි.

 

(2) “බහිද්ධා රූපානි පස්සති සුවණ්ණ දුබ්බණ්ණානි”[355] යනාදි තන්හි කසිණ රූපානි යි කිවමනා තන්හි “කසිණ” යන්න ලොප්කොට “රූපානි” යි කියයි “දෙවදත්තො” යි කිවමනා තන්හි පූර්‍වපද ලෝපයෙන් “දත්තො” යි දෙවදත්තයාම කීවා සේ කසිණ රූපානි යි කිවමනා තන්හි රූපානි යි කසිණ රූපම කියන ලදී. මෙසේ වන්නා පෙර කී “සබ්බසො” යන්න රූපසඤ්ඤානං යන්නට තුල්‍යාධිකරණ විශේෂණ කොට සබ්බාසං රූපසඤ්ඤානං යි ගෙන නිරවශේෂ වූ රූපාවචර ධ්‍යානය හා එයට ආලම්බන පඨවි ආදි කසිණාලම්බනය ද කීවා වේ.

 

සමතික්කමා = නොඇලීමෙන් හා වැනසීමෙන් යනු අර්‍ථයි. (ඉක්මවීමෙන්) ; කුසල-විපාක-ක්‍රියා-වශයෙන් පසළොස් වැදෑරුම් වූ රූපාවචර ධ්‍යාන සංඛ්‍යාත වූ ද, ආකාශ වර්ජිත නවවිධ කසිණාලම්බන සංඛ්‍යාත වූ ද, රූපසංඥාවන්ගෙ සර්‍වප්‍ර‍කාරයෙන් නිරවශේෂයෙන් නිරුද්ධ කිරීම කියන ලද්දේ වේ.

 

ඒ එසේ මැයි:- සර්‍වප්‍ර‍කාරයෙන් රූපාවචර ධ්‍යානය නො ඉක්මවා ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණිය නො හැකි හෙයිනි.

ආකාසනඤ්චායතන ධ්‍යානය ආලම්බන සමතික්‍ර‍මණයෙන්ම වන හෙයින් ආලම්බන සමතික්‍ර‍මණය නොවූවහට සංඥා සමතික්‍ර‍මණය නොවේ. හුදෙක් සංඥා සමතික්‍ර‍මණය වූවහුට ම ආලම්බන සමතික්‍ර‍මණය වන හෙයිනි.

 

විභඞ්ගයෙහි :- තත්‍ථ කතමා රූපසඤ්ඤා, රූපාවචර සමාපත්තිං සමාපනනස්සවා, උප්පනනස්සවා දිට්ඨධම්ම සුඛවිහාරිස්සවා, සඤ්ඤා සඤ්ජානනාසඤ්ජානිතතතං ඉමාවුච්චන්ති රූපසඤ්ඤායො. ඉමාරූප සඤ්ඤායො අතික්කන්තෙහොති විතික්කන්තො සමතික්කන්තො තෙන වුච්චති සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමාති”[356]යි සංඥා සමතික්‍ර‍මණය වදාළහ.

 

එහි රූප සංඥා නම් කවරී ද?

 

“රූපාවචර ධ්‍යාන ලාභියාගේ ධ්‍යානයට සමවැදීමෙන් කුශල සංඥා වශයෙන් ද, කාලක්‍රියා කොට බ්‍ර‍හ්මලෝකයෙහි උපන්නහුගේ විපාක සංඥා වශයෙන්ද, රහතුන්ගේ දිට්ඨ ධම්ම සුඛවිහරණයෙන් ක්‍රියා සංඥා වශයෙන්ද, හැඳිනීම රූප සංඥා නමු. එකී ත්‍රිවිධ සංඥාවන්ම ඉක්මවූයේ රූප සංඥා මනාකොට ඉක්මවූයේ ය යි කියනු ලැබේ” මෙසේ විභඞ්ගයෙහි ආරම්මණ සමතික්‍ර‍මණය නො කියා සංඥා සමතික්‍ර‍මණයම කියන ලදි.

 

එකම අරමුණෙහි ප්‍ර‍ථම ධ්‍යානාදිය මෙන් නොපැමිණිය යුතු හෙයින් ද ආරම්මණ සමතික්‍ර‍මණයෙන් මේ සමාපත්ති ලැබිය යුතු හෙයින් ද, මෙහි ආරම්මණ සමතික්‍ර‍මණ වශයෙන් ද විස්තර කරන ලද බව දත යුතු.

 

පටිඝසඤ්ඤාණං අත්‍ථඞ්ගමා = ප්‍ර‍තිඝ සංඥාවන්ගේ අසතඞ්ගමයෙන් චක්‍ෂුරාදි ප්‍ර‍ාසද රූප හා රූපාදි පඤ්චාලම්බනයන් ගැටීමෙන් උපන් සංඥා ප්‍ර‍තිඝ සංඥා නමු. රූප සංඥාදියට මේ නමෙකි. එහෙයින්ම:- තත්‍ථ කතමා පටිඝසඤ්ඤා, රූපසඤ්ඤා, සද්දසඤ්ඤා, ගන්‍ධසඤ්ඤා, රසසඤ්ඤා, ඵොට්ඨබ්බසඤ්ඤා, ඉමා වුච්චන්ති පටිඝසඤ්ඤායො[357]

 

රූප සංඥාය, ශබ්ද සංඥාය, ගන්‍ධ සංඥාය, රසසංඥාය, ස්ප්‍ර‍ෂ්ටව්‍ය සංඥා යැයි මොහු ප්‍ර‍තිඝ සංඥා යැයි කියන ලදහ. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය යන පඤ්ච ප්‍ර‍සාද වස්තූන් හා රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන පඤ්චාලම්බනයන් පිළිවෙළින් ගැටීමෙන් උපදනා පඤ්චවිධ කුසලවිපාක, අකුසලවිපාක, චක්ඛුවිඤ්ඤාණාදීන්ගේ වශයෙන් දස වැදෑරුම් විපාක චිත්තයන්ට හා ඒ සමග උපදනා චෛතසිකයන්ට ප්‍ර‍තිඝ සංඥා යයි කියනු ලැබේ. ද්‍වාරයන්ට ආලම්බනවීම් වශයෙන් ගැටීමෙන් උපදනා හෙයිනි.

 

අරූපාවචර ධ්‍යානයෙහි හා එයින් උපදනා අරූප භවයෙහි ප්‍ර‍තිඝ සංඥාවන් නො පවත්නා හෙයින් ප්‍ර‍හාණයෙන් - නො ඉපදවීමෙන් ඔවුන්ගේ අභාවය කියන ලදී.

 

යටකී ද්‍විපඤ්ච විඤ්ඤාණ සංඛ්‍යාත ප්‍ර‍තිඝ සංඥාවෝ ප්‍ර‍ථම ධ්‍යානාදියට සමවන්නහුට ද කැලම නැත්තාහ. එකල්හි පඤ්ච ද්වාරික වශයෙන් සිත නොපවත්නා හෙයිනි. එසේ ඇති කල්හිදු ප්‍ර‍ථම ධ්‍යානාදියට සමවන්නහු විසින් ප්‍ර‍හීණ කළ සුඛ දුක්ඛයන් “සුබස්සව පහාණා” යනාදීන් චතුර්‍ථධ්‍යානයෙහි ද සෝවාන් මගින් ප්‍ර‍හීණ කළ “සක්කාය දිට්ඨි” ආදි සංයොජනත්‍ර‍ය ද “පඤ්චන්තං ඔරම්භාගියානං සඤ්ඤොජනානං”යි අනාගාමි මාර්‍ගයෙහි ද ප්‍ර‍ශංසා වශයෙන් හා උත්සාහ දනවීම පිණිස කීවා සේ අරූපාවචර ධ්‍යානයෙහි ප්‍ර‍තිඝ සංඥාවන්ගේ කීම එයට ප්‍ර‍ශංසා වශයේ හා එහි උත්සාහ දැනවීම පිණිස යැ.

 

අන්‍යවූ ද අර්‍ථයෙකි :- ඒ ප්‍ර‍තිඝ සංඥාවෝ රූපාවචර ධ්‍යානයට සමවැදුනහුට ද නැත්මැයි. ඒ නැත්තේ ප්‍ර‍හීණ කිරීමෙන් නොවේ. ඒ එසේ මැ යි :- රූපාවචර ධ්‍යානය රූප විරාගය පිණිස නො පවතී. මේ ප්‍ර‍තිඝ සංඥාවන් අරූපධර්‍ම වුවද ඔවුන්ගේ පැවැත්ම රූපායතනමය. රූපාවචරධ්‍යානය රූප නොවුවත් රූපය අයත් කොටම පවතී. එහෙත් මේ අරූපාවචර ධ්‍යානය රූප විරාගම පිණිස පවතී. එහෙයින් මෙහි ඒ රූප සංඥා ප්‍ර‍හීණ යයි කීමට වටනේය. කීමට පමණක් නොව ඒකාන්තයෙන් මැ ධාරණය කිරීමට ද වටනේයි.

 

ඒ ප්‍ර‍තිඝ සංඥාවන් මේ අරූප ධ්‍යානයෙන් පෙර ප්‍ර‍හීණ නො කළ හෙයින් ම බුදුහු ප්‍ර‍ථම ධ්‍යානයට සමවැදුනහුට ශබ්දය කන හුණු කටුවක් මෙනැයි වදාළහ.

 

ඒ එසේමැයි :- පරතොඝෝෂ ප්‍ර‍ත්‍යයයෙන් ලැබිය යුතු සෝවාන් මාර්‍ගයට අනන්තර ප්‍ර‍ත්‍යය වූ ගෝත්‍ර‍භූ ඥානයට හේතු වූ ශබ්දය ප්‍ර‍ථම ධ්‍යානයට කණ්ටකයෙකි. එහෙයින් බලවත් ශබ්දයාගේ ගැටීමෙන් ප්‍ර‍ථම ධ්‍යානයෙන් නැගිටීම වේ. අරූපධ්‍යානයෙහි ප්‍ර‍තිඝ සංඥාව ප්‍ර‍හීණ කළ හෙයින් අරූප සමාපත්තීහු ‘ආනෙඤ්ජාභි සංස්කාරයහ’යි ද, ‘ශාන්ත විමොක්‍ෂයහ’යි ද කියන ලදු. අරූප ධ්‍යානයට සමවන් ආළාරකාලාව තෙමේ මහත් වූ චක්‍ර‍ නාදයෙන් යුක්ත වැ ළඟන්ම පෙළට ගිය පන්සියයක් ගැල් නොදිටී. ශබ්දය ද නො ඇසී. ශබ්දය අසා අරූපධ්‍යානයෙන් නො නැගිටින බවට මේ සාධකයි.

 

නානත්ත සඤ්ඤානං අමනසිකාරා = නානාවිධ අරමුණෙහි පැවැති සංඥා හෝ නානාවිධ සංඥා මෙනෙහි නොකිරීමෙන් ය’යි කී සාමාන්‍ය විස්තර කරනුවෝ

 

තත්‍ථ කතමා නානත්ත සඤ්ඤා අසමාපනතස්ස මනොධාතු සමඞ්ගිස්සවා මනොවිඤ්ඤාණ ධාතු සමඞ්ගීස්සවා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං ඉමා වුච්චන්ති නානත්ත සඤ්ඤායො[358] යනු වදාළහ.

එහි නානාත්‍ව සංඥා නම් ධ්‍යානයට සම නොවැදුනහු ගේ මනෝධාතු සංඛ්‍යාත පඤ්චද්වාරාවර්‍ජන සිතින් හෝ, මනෝ විඤ්ඤාණධාතු සංඛ්‍යාත මනෝද්වාරාවර්‍ජන සිතින් හෝ, යුක්ත වූවහුගේ යම් සංඥාවක් හැඳිනීමක් හඳුනන බවෙක් වේ නම් ඒ නානාත්‍ව සංඥා යැ.

 

විභඞ්ගයෙහි මෙසේ දක්වන ලද සංඥාවෝ රූප ශබ්දාදි ප්‍රභේද ගත නොයෙක් ස්වභාව ඇති ආලම්බනයෙහි පවත්නාහුය. ඒ සංඥාවෝ නම් කාමාවචර කුසල සංඥා අට යැ (8) අකුසල සංඥා දොළොසයැ (12) කාමාවචර කුසල විපාක සංඥා එකොළොස යැ (11) අකුසල විපාක සංඥා දෙක යැ (2) (ද්විපඤ්චවිඤ්ඤාණය (10) ප්‍ර‍තිඝ සංඥා නාමයෙන් පෙර කී හෙයිනි.) කාමාවචර ක්‍රියා සංඥා එකොළොස යැ (11) යන සුසාලිස සංඥා වශයෙන් නොයෙක් ප්‍රභේද ඇත්තාහුය. ඔවුනොවුන්ට විසදෘශ හෙයින් ඔහු නානාත්‍ව සංඥා යයි කියන ලදහ.

 

ඒ නානාත්‍ව සංඥාවන් යම්තාක් කල් මෙනෙහි නොකෙරේ නම් ඒ තාක් සර්‍වප්‍ර‍කාරයෙන් මෙනෙහි නොකිරීම හේතුකොටගෙන මෙනෙහි නොකෙරේ යයි ද ආවර්‍ජනා නොකිරීම හේතුකොටගෙන ආවර්‍ජනා නො කෙරේ යයි ද කියන ලදි. පෙර කී සේ රූප සංඥා ප්‍ර‍තිඝ සංඥා අරූපාවචර ධ්‍යානයෙන් උපදනා අරූප භවයෙහි කැලම නැත්. එහෙයින් මේ ධ්‍යානයට සමවැදී ඒ ආරුප්ප භවයෙහි වසනකල ඒ සංඥා නැතැයි කියනුම කවරේ ද? එහෙයින් ඔවුන්ගේ ඉක්මවීමෙන් ද, අසතඞ්ගමයෙන් දැයි දෙයාකාරයෙන් ම අභාවයම කීයේ වෙයි. එහෙත් නානාත්‍ව සංඡාවන් අතුරෙන් කාමාවර කුසල සංඥා අට (8) ද මනොද්වාරාවර්‍ජන එක හා මහා ක්‍රියා අට දැයි යන මේ ක්‍රියා සංඥා නවය (9) ද ප්‍ර‍තිඝද්වය හැර අකුසල සංඥා දසය (10) දැයි මේ සත්විසි (27) සංඥාවෝ අරූපාවචර ධ්‍යානයෙන් උපදනා හෙයින් විද්‍යාමානයහ. එහෙත් මේ ධ්‍යානයට සමවැද වසන කල ඔවුන්ගේ මෙනෙහි කිරීමක් නැති හෙයින් ම “නානත්ත සඤ්ඤානං අමනසිකාරා”යි කී නියා දත යුතු. ඔවුන් මෙනෙහි කෙරේ නම් ධ්‍යානයට සම නො වදනේ මැයි.

 

මේ “රූපසඤ්ඤානං සමතික්කමා” යන්නෙන් සියලු රූපාවචර ධර්‍මයන්ගේ ද, “පටිඝසඤ්ඤානං අත්‍ථඞ්ගමා නානත්ත සඤ්ඤානං අමනසිකාරා” යන්නෙන් කාමාවචර චිත්ත චෛතසික ධර්‍මයන්ගේ ප්‍ර‍හාණය ද, මෙනෙහි නොකිරීම ද සැකෙවින් කියන ලදී.

 

නිගමනය :- අරූපාවචර ධ්‍යානය නැති කල්හි චුතියෙන් මත්තෙහි ඉපදීමට සුදුසු රූපාවචර ධ්‍යානයන්ගේ හා ද්‍විපඤ්ච විඤ්ඤාණයන්ගේ ද, විපාක ප්‍ර‍වෘත්තිය ඇතිතාක් විපාක දීමට සමර්‍ථ වෙතත් මේ අරූපාවචර ධ්‍යාන ඉපදවීමෙන් එය පවතිනතාක් ඔවුන්ගේ විපාක නොලැබෙන ස්වභාවයට පැමිණවීමෙන් ද, රූප සංඥා ප්‍ර‍තිඝ සංඥාවන්ගේ සමතික්‍ර‍මණය හා අස්තංගමය ද කියන ලදී. (නානාත්‍ව සංඥාවන් අතුරින් රූපනිශ්‍රිතවැ ම පවත්නා සංඥාවෝ අනවකාශ හෙයින් නො උපදිති. අරූප ධ්‍යානයෙන් වළකන ලද හෙයින් නොවේ.) අරූප්පභාවනාවෙන් නොවළකන ලද හෙයින් සමහර සංඥා උපදිති. එහෙයින් ඔවුන් මෙනෙහි කිරීම ජවනයන්ට හෝ භවාඞ්ග සිතට ඇතුළත් නොකරන බව කියන ලදී.

 

මෙසේ “රූපසඤ්ඤානං සමතික්කමා - පටිඝ සඤ්ඤානං අත්‍ථඞ්ගමා - නානත්ත සඤ්ඤානං අමනසිකාරා” යන මේ පද තුනෙන් අකාසානඤ්චායතන සමාපත්ති වර්‍ණනය කියන ලදී.

 

තවද කිසි ආස්වාදයක් නැති අහසෙහි පැවති සංඥායෙහි කවර ආනිසංසයෙක් දැයි වරදවා ගත්තවුන්ගේ ඒ ගැනීම වළකාලීම සඳහා මේ ආනිසංස අසා මේ සමාපත්තිය ශාන්තය ප්‍ර‍ණීත යැයි, එය ඉපදවීමට උත්සාහ කෙරෙමුය යි, මෙසේ උත්සාහ ඉපදවීම සඳහා ද මෙය කියන ලදී)

 

“අන්තා ආකාසො”ති = අනන්ත අවකාශ යැයි ‘අවකාශය නම් පරිච්ඡේදයයි’ එහි ස්වාභාවික ධර්‍මයන්ගේ මෙන් උත්පාදයාගේ හෝ අභාවයා ගේ අන්තයක් නො පැනෙන හෙයින් අනන්තය. විශේෂයෙන් මෙහි අභිප්‍රේත වූයේ කසිණුග්ඝාටිම අවකාශය යැ. එය අජටාකාශය හා පරිච්ඡින්නාකාශයයැ යි ද්විප්‍ර‍කාර වූ අවකාශයෙන් අන්‍ය ය. ඒ හා අමිශ්‍ර‍ ය. ඉපදීමේ හෝ නැතිවීමේ හෝ අන්තයක් නො පැනෙන හෙයින් අනන්ත ය.

 

විස්තර :- ස්වාභාවික දෙය පෙර නො පැවැති උපදනා හෙයින් හා ඉපිද වැනසෙන හෙයින් ද, උදය - ව්‍යය දෙකින් පිරිසිඳේ. අවකාශය වනාහි අස්වාභාවික දෙයක් හෙයින් ඒ දෙකින් නො පිරිසිඳිනා ලදින් අනන්ත ය. මෙය පෙර කී සේ කසිණය (ආලෝකය) මෙනෙහි නො කොට උගුළුවා ඒ ආලෝකය පැවැති ආකාශ මාත්‍ර‍ය විනා පරිච්ඡේදය නො ගැනීමෙන් ද, පරිකර්‍මභාවනා වශයෙන් අනන්තව ද පවත්නා හෙයින් අනන්තාකාස නම වී.

 

එහෙයින් කීහ :- තස්මිං ආකාසෙ චිත්තං ඨපෙති සණ්ඨාපෙති අනන්තං එරති තෙන වුච්චති අනන්තො ආකාසොති[359] යී “ඒ කසිණුගඝාටික ආකාශයෙහි උපචාරධ්‍යාන චිත්තය (මෙනෙහි කිරීම් වශයෙන්) පිහිටුවයි. අනන්ත වශයෙන් පතුරුවයි. එහෙයින් අනන්ත ආකාශය’යි කියන ලදි”

 

“ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති” ආකාසානඤ්චායතන ධ්‍යානය උපදවා වාසය කෙරේ මෙහි වනාහි පෙර කී සේ ආකාශය ගේ උත්පාදාන්තය හෝ ව්‍යයාන්තය නැති හෙයින් ආකාසානන්ත නම් වේ. (ඒ ආකාසානන්තයම ස්වාර්‍ථයෙහි “ණ්‍ය” ප්‍ර‍ත්‍යය වැ යවත් වූ “ත්‍ය” යන්නට වකාරය හා නකාරයට “ඤ” කාරව ආකාසානඤ්ච නම් වේ.) (“භෙසජ මෙව හෙසජ්ජං” යි කීවා සේ)

 

තව ද දෙවියන්ට වාසස්ථානය වූ දෙවොළ දේවායතනය වන්නා සේ අපරිච්ඡේදාකාශයම මේ ධ්‍යානය පිහිට කොට ඇති හෙයින් හෝ සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට ආධාර වූ හෙයින් මේ ධ්‍යාන චිත්තය ම ආකාසානඤ්ච නම් වේ.

 

මේ ධ්‍යානය උපදවා එයට සමවැද එයට සුදුසු ඉරියව්වෙන් වාසය කරන්නේ ය, යනු මේ අදහස යි.

 

මේ ආකාසානඤ්චායතන කර්‍මස්ථානයෙහි විස්තර කථාව යැ.

 

(2) විඤ්ඤාණඤ්චායතනය

 

විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය වඩනු කැමති යෝගීහු විසින් ආවර්‍ජනාදි පඤ්චවිධ වශීතාවයෙන් ආකාසානඤ්චායතන සමාපත්තිය පුරුදු කොට (වශී බවට පැමිණි පසු) මේ ආකාසානාඤ්චායතන සමාපත්තිය රූපාවචර පඤ්චමධ්‍යාන සංඛ්‍යාත සතුරකු ළංවැ ඇත්තේ යයි ද, එය ඉක්මවීමෙන් ම ඒ විරුඬ ධර්‍මයන් ඉක්මවිය යුතු හෙයින් අත්‍යාසන්න වූ පසමිතුරන් ඇතැයි ද, ඒ කසිණාලෝකය පැතිරි අහසෙයි ලැබිය යුතු හෙයින් විඤ්ඤාණඤ්චායතනය මෙන් සංසුන් නොවේයයි ද, මෙසේ ආකාසානඤ්චායතනයෙහි ආදීනව සලකා ඒ පිළිබඳ කැමැත්ත සිඳපියා විඤ්ඤාණඤ්චායතනය ශාන්ත වශයෙන් මෙනෙහි කොට ඒ කිසුණු ඉගුළු අහස පැවැති ආකාසානඤ්චායතන ධ්‍යාන චිත්තය (අනන්තං විඤ්ඤාණං) ‘විඤ්ඤාණය අනන්ත යැ’ යි හෝ ‘විඤ්ඤාණය, විඤ්ඤාණ යැ’යි හෝ මෙනෙහි කළ යුතු. නැවත නැවත මෙනෙහි කළ යුතු. ආවර්‍ජනා කළ යුතු. තර්‍ක කළ යුතු. විතර්‍ක කළ යුතු.

 

එහෙත් විඤ්ඤාණය නොගෙන ‘අනන්ත යැ යි’ පමණක් මෙනෙහි නො කළ යුතු.

 

ඒ ප්‍ර‍ථමාරූප්‍ය විඥානය උත්පාදාන්ත ව්‍යායාන්ත දෙකින් යුක්තවුව ද අනන්ත අවකාශ අරමුණු කොට පවත්නා හෙයින් පැතිරෙන ආකාරයෙන් අනන්තරහිත හෙයින් අනන්ත යයි මෙසේ මෙනෙහි කරන ඒ යෝගාවචරයාට පෙර කී සේ ආකාශයෙහි ආකාසානඤ්චායතනය සේ ඒ අහස ස්පර්‍ශකොට ගන්නාලද ප්‍ර‍ථමාරූප්‍ය විඤ්ඤාණය අරමුණුකොට විඤ්ඤානඤ්චායතන ධ්‍යාන චිත්තය උපදී (අර්පණා චිත්තයාගේ පැවැත්ම පෙරකී සේමය. එනම් ද්විතීය අර්පණා විථියෙහි මුලදී කාමාවචර උපේක්‍ෂා වෙදනා සම්ප්‍ර‍යුක්ත ජවන සිත් තුනක් හෝ හතරක් ඉපිද සතරවැනිව හෝ පස්වැනිව විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන සිත අර්පණා වශයෙන් උපදී.)

 

එහෙයින්ම :- “සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති”[360] යි කියන ලදි.

 

සබ්බසො - පෙර කී සේයි. (හෙවත් ආසන්න වූ රූපධ්‍යාන සතරක් ඇති බව යනාදීන් සර්‍වප්‍ර‍කාරයෙන් දොස් දැක ඒ ධ්‍යානයෙහි නිකාර්තිය පහ කිරීමෙන් හෝ ආවර්‍ජනා නොකිරීම් ආදීන් කුසල - විපාක - ක්‍රියා වශයෙන් සියලු ආකාරයෙන්)

 

ආකාසානඤ්චායතනං සමතික්කම්ම = මෙහි පෙර කී සේ ධ්‍යානය ද ආකාසානඤ්චායතන නම් වේ. ආලම්බනය ද ආකාසානඤ්චායතන නම් වේ. (එහි ආකාසානඤ්චය ආයතන කොට ඇත්තේ යම් ධ්‍යානයකට නම් ඒ ආකාසානඤ්චය යි අන්‍යාර්‍ථ සමාස වශයෙන් ධ්‍යානය කී) ආලම්බනය ද ප්‍ර‍ථමාරූප්‍ය ධ්‍යානයට ආධාරවීම් වසයෙන් ආකාසානඤ්ච වූයේත් හේමය. ආයතනවූයේත් හේමය යි තුල්‍යාධිකරණ සමාස හෙයින් ආකාසානඤ්චායතන නම් වේ. දෙවියන්ට දේවායතනය මෙනි.

 

එසේම සඤ්ජාති දේසාර්‍ථයෙන් ද ආකාසානඤ්චායතන නම් වේ. ඒ මෙසේ යි:- ආකාසානඤ්චායතන වූයේත් හේමය. ඒ ධ්‍යානයාගේ හටගැනීමට සුදුසු දේශය වූයේත් හේමනුයි ආකාසානඤ්චායතන නම් වේ. කාම්භෝජ ජනපදය අශවයන්ගේ ඉපදීමට ආයතන (සුදුසු දේශය) වන්නාක් මෙනි. මෙසේ ධ්‍යානය අපවත් කිරීමෙන් ද, ආලම්බනය මෙනෙහි නො කිරීමෙන් ද, දෙක ම ඉක්මවා මේ විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ විසිය යුතු වන හෙයින් ඒ දෙක ම එක්කොට ආකාසානඤ්චායතනය ඉක්මවා යයි කියන ලදැයි දත යුතු.

 

අනන්තං විඤ්ඤාණං = පෙර ‘අනන්තො ආකාසො’යි කී ඒ අනන්ත අවකාසය පැතිර පැවති ඒ ප්‍ර‍ථමාරුප්‍ය විඥානය ‘අනන්තං විඤ්ඤාණං’ කියා මෙසේ මෙනෙහි කෙරේ යයි කියන ලදි. ඒ යෝගී තෙමේ ඒ ආකාසය ආලම්බනය කොට පැවති විඤ්ඤාණය සර්‍වප්‍ර‍කාරයෙන් අනන්ත යැයි මෙනෙහි කෙරේ. මෙසේ මෙනෙහි කිරීම් වශයෙන් ද අනන්තය යි කියන ලදි.

 

එහෙයින් ම අනන්තං විඤ්ඤාණන්ති තං යෙව ආකාසං විඤ්ඤාණෙන ඵුටං මනසිකරොති අනන්තං ඵරති තෙන වුච්චති අනන්තං විඤ්ඤාණන්ති[361] මේ එහි අර්‍ථය යැ. ‘ඒ අනන්ත ආකාස යැ යි මෙසේ ආකාසය ස්පර්‍ශ කළ විඥානය විඤ්ඤාණඤ්චායතනය චිත්තයෙන් මෙනෙහි කරයි. ‘විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති[362] මෙනෙහි කිරීම් වසයෙන් හා පැතිරවීම් වශයෙන් ද, අන්ත රහිත හෙයින් විඤ්ඤාණඤ්ච නම් වූ ඒ ද්විතීයාරුප්‍ය චිත්තය දෙවියන්ට දේවායතනය මෙන් සසම්ප්‍ර‍යුක්ත ඒ ධ්‍යානයට පිහිටීමට ස්ථාන වන හෙයින් විඤ්ඤාණඤ්චායතන නම් වේ සෙස්ස පෙර සේ මැයි.

 

විඤ්ඤාණඤ්චායතන කර්‍මස්ථානයෙහි විස්තර කථාව ය.

 

(3) ආකිඤ්චඤ්ඤායතනය

 

ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය වඩනු කැමති යෝගාවචර තෙමේ පස් ආකාරයකින් විඤ්ඤාණඤ්චායතනයෙහි නො පුරුදු බැවින් වසඟ බවට පැමිණ ‘මේ විඤ්ඤාණඤ්චායතනය සමීපයෙහි පවත්නා ආකාසානඤ්චායතන නමැති සතුරකු ඇත්තේ ය. ආකිඤ්චඤ්ඤායතනය සේ ශාන්ත ද නොවේය’ යි විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව දැක එහි කැමැත්ත සිඳපියා ආකිඤ්චඤ්ඤායතනය ශාන්ත සේ මෙනෙහි කොට ඒ විඤ්ඤාණඤ්චායතනයට අරමුණු වූ ආකාසානඤ්චායතන විඤ්ඤාණයා ගේ අභාවය, ශූන්‍යත්‍වය, විවික්තාකාරය මෙනෙහි කළ යුතු. ඒ විඤ්ඤාණය මෙනෙහි නොකොට “නැත” “නැතැයි” හෝ “ශුන්‍යය” “ශුන්‍යය” යි හෝ “විවික්තයැ” “විවික්තයැ” යි හෝ සිහි කළ යුතුය. නැවත නැවත මෙනෙහි කළ යුතුයි. එසේ මෙනෙහි කරන ඒ යෝගාවචරයාගේ සිතෙහි නීවරණයෝ පහවෙති. සිහිය පිහිටයි. උපචාර වශයෙන් සිත සමාධි වෙයි. හෙතෙම ඒ නිමිත්ත නැවත නැවත වඩන්නේ වෙයි. එකල ඕහට පෙර ආකාශයෙහි පහළ වූ විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය මෙන් ඒ විඤ්ඤාණඤ්චායතනයාගේ ශූන්‍ය භාව සංඛ්‍යාත අරමුණෙහි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන සිත පිහිටයි. මෙහි ද පෙර කී සේ මැයි.

 

විශේෂ:- ඒ ආකාසානඤ්චායතන ධ්‍යාන චිත්තයා ගේ අභාව මාත්‍රාලම්බනයෙහි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන සිත අර්පණා වශයෙන් උපන් කල්හි ඒ යෝගාවචර තෙමේ පූර්‍වයෙහි අහසැ පැවැති විඤ්ඤාණයා ගේ අභාවමාත්‍ර‍ය මෙනෙහි කරයි.

 

ඒ මෙසේයි:- යම් කිසි පුරුෂයෙක් ධර්‍මසභාදියෙහි කිසියම් වැඩක් සඳහා රැස්ව හුන් භික්‍ෂු සංඝයා බලා කිසි කටයුත්තකට ගොස් නැවත පැමිණෙන විට පැමිණි කටයුත්ත අවසන් කොට එතැනින් භික්‍ෂු සඞ්ඝයා නැගී යාමෙන් හිස්ව තිබූ ශාලාවම දකී. ඕ හට ඒ භික්‍ෂුන් අතුරින් මෙ තෙක් දෙන කලුරිය කළහ. මෙ තෙක්  දෙන ඒ ඒ දිගට ගියහ යි කියා මෙනෙහි නො වේ ම ය. වැලි මේ මණ්ඩපය ශූන්‍යය හිස්ය යි මේ පමණක් ම මෙනෙහි වෙයි.

 

මෙසේම පෙර අහස පැවති විඤ්ඤාණය විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන නමැති ඇසින් බලමින් වාසය කොට නැවත “නත්‍ථි නත්‍ථි-නැත නැත” යි පරිකර්‍ම භාවනා වශයෙන් මෙනෙහි කිරීමෙන් ඒ විඤ්ඤාණය පහව ගිය කල්හි හුදෙක් ඒ පහවීම් මාත්‍ර‍ය වූ අභාවය ම බලමින් වාසය කරයි. එය කුමකින් පහව ගියේ දැයි හෝ කොතැන්හි ගියේ දැයි නොබලයි. මෙතෙකින් ඒ යෝගාවචර තෙමේ - සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්‍ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති[363] යි. ආලම්බනය හා ධ්‍යානය ඉක්මවීමෙන් “සර්‍වප්‍ර‍කාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය උපදවා වාසය කෙරේ” ය යි කියනු ලැබේ. (විස්තර විඤ්ඤාණඤ්චායතනයෙහි කීසේ යි.)

 

පෙර කී සේ විඤ්ඤාණඤ්චායතනයට අරමුණු වූ ආකාසානඤ්චායතන ධ්‍යානය මෙනෙහි නොකිරීමෙන් අපවත් කොට හුදෙක් ඒ අභාවයම “කිසිවක් නැතැයි” මෙනෙහි කිරීමෙන් උපදවන ලද ධ්‍යානය ආකිඤ්චඤ්ඤායතන යයි කියනු ලැබේ.

 

ආකිඤ්චඤ්ඤායතනයෙහි විස්තර කථාවය.

 

(4) නේවසඤ්ඤා නාසඤ්ඤායතනය

 

නේවසඤ්ඤානාසඤ්ඤායතනය ධ්‍යානය වඩනු කැමැති යෝගාවචර තෙමේ පස් ආකාරයකින් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි වසී බවට පැමිණීමෙන් මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට ළංවූ විඤ්ඤාණඤ්චායතන නමැති පසමිතුරා ඇත්තේ ය. නේවසඤ්ඤා නාසඤ්ඤායතනය සංස්කාරයන් ගේ සියුම් බවට පැමිණීමෙන් විශේෂයෙන් සන්හුන්නා සේ සන්හුන් බවට පැමිණියේත් නොවේ. ඒ සන්හුන් බව නැති හෙයින් ම (රූපාදිස්කන්‍ධයෙහි) ප්‍ර‍ත්‍යයයෙන් යැපිය යුතු හෙයින් හා රෝගයට මුල් බැවින් ද රෝගයක් බඳුවේ. දුක් බැවින් හා රිදීම ඇති කරන හෙයින් ගඩක් (පොළක්) බඳු වේ. පීඩා උපදවන හෙයින් හුලක් බඳු වේ. මේ සියල්ල සංඥාව ඇති කල්හිම වන හෙයින් “සඤ්ඤා රොගො, සඤ්ඤා ගණ්ඩො, සඤ්ඤා සල්ලො”[364] යි සංඥාව රෝගයෙක; ගඩෙක; හුලෙකැ’යි වදාළහ. (මෙහි සංඥා නම් විඥානය ය)

 

(මෙහි වනාහි පඤ්චචෝකාර භවගත සංඥාව (විඥානය) අභිප්‍රේතය. ප්‍ර‍කට හෙයිනි. හුදෙක් එපමණක් නොව වේදනා චේතනාදිය ද සංග්‍ර‍හ වේ) මෙසේ ආකිඤ්චඤ්ඤායතනයෙහි දොස් දැක එහි ආසා දුරුකොට නේවසඤ්ඤා නාසඤ්ඤායතනයෙහි ආනිසංසද බලා එය ශාන්ත වශයෙන්, ප්‍ර‍ණීත වශයෙන්) මෙනෙහි කොට ප්‍ර‍ථමරූප්‍යවිඥානයා ගේ අභාවය අරමුණු කොට පැවැති ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ම “ශාන්තයැ ශාන්තයැ” යි නැවත නැවත මෙනෙහි කරන, ආවර්‍ජනා කරන, ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන, තර්‍ක කරන, විතර්‍ක කරන, (එහිම සිත) නැවත නැවත පිහිටුවන ඒ යෝගවචරයා ගේ සිත්හි නීවරණයෝ පහවෙති. සිහිය පිහිටයි. උපචාරධ්‍යානයෙන් සිත එකඟ වේ. හෙතෙම ඒ ධ්‍යාන නිමිත්ත නැවත නැවත වඩයි. ඒ වඩන්නාහට විඤ්ඤාණාපගමයෙහි ආකිඤ්චඤ්ඤායතනය මෙන් ආකිඤ්චඤ්ඤායතනය යි කියන ලද සතර නාමස්කන්‍ධ සංඛ්‍යාත අරමුණෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත අර්පණා වශයෙන් මනාව උපදී. (මෙහි අර්පණා ක්‍ර‍මය ද යට කී සේ දතයුතු)

 

මෙතෙකින් ඒ යෝගාවචර තෙම:- “සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤා නාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති”[365] පෙරකී සේ සර්‍වප්‍ර‍කාරයෙන් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ඉක්ම නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරේ.

 

විස්තර පෙර කී සේ මැයි.

 

මෙහි ද, ආලම්බනය ද, ධ්‍යානය ද, ආකිඤ්චඤ්ඤායතන නම් වේ. දෙවියන්ගේ වාසස්ථානය ආධාරාර්‍ථයෙන් දේවායතන නම් වන්නා සේ තෘතිය අරූපධ්‍යානයට අරමුණු වන හෙයින් ආකිඤ්චඤ්ඤ වූයේ ම ආයතන නම් වේනුයි ආකිඤ්චඤ්ඤායතන නම් වේ.

 

ඒ ධ්‍යානයා ගේ ඉපදීමට හේතු වූ බැවින් කාම්බෝජ දේශය අශ්වයන් ඉපදීමට ස්ථාන සංඛ්‍යාත ආයතන වන්නා සේ ආකිඤ්චඤ්ඤවූයේ ම ආයතන වේනුයි ආකිඤ්චඤ්ඤායතන නම් වේ. මෙකී ආරම්මණය ද ධ්‍යානය දැයි දෙකම අපවත් කිරීමෙන් හා මෙනෙහි නො කිරීමෙන් ඉක්මවා මැ ව්‍යක්ත වූ සංඥාවක් නැති හෙයින් සංඥා යයි ච, සංඥා ස්වභාවය නො ඉක්ම වූ හෙයින් අසංඥා යයි ද නොකිය යුතු වූ යම් සංඥාවක් ඇති හෙයින් ඒ ධ්‍යානය නේවසඤ්ඤා නාසඤ්ඤා නම් වේ.

 

එහෙයින් “තඤ්ඤෙව ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසිකරොති සඞ්ඛාරාවසෙසසමාපත්තිං භාවෙති. තෙන වූච්චති නෙවසඤ්ඤී නාසඤ්ඤීති”[366]

 

“ඒ ආකිච්චඤ්ඤායතන සමාපත්තිය ම ශාන්ත වශයෙන් මෙනෙහි කරයි. සංස්කාරාවශේෂ සමාපත්තිය වඩයි. එහෙයින් ඒ පුද්ගලතෙම ‘නේවසඤ්ඤී නාසඤ්ඤී’ යයි කියනු ලැබේ.” මෙ සේ පුද්ගලාධිෂ්ඨාන ධර්‍මදේශනා වශයෙන් (සංඥාවත් වූ පුද්ගලයාගේ වශයෙන්) සංඥාව උද්ධරණය කොට දක්වා වදාළ සේක.

 

(ඒ අරමුණ හා පවත්නා ආකාරය ද දක්වනු පිණිස මේ වදාළ සේක.)

 

ඒ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ශාන්ත වශයෙන් මෙනෙහි කොට සංස්කාරාවශේෂ සමාපත්තිය වඩන ඒ පුද්ගලතෙම නේවසඤ්ඤී නාසඤ්ඤී නම් වේ.

 

විස්තර:- ප්‍ර‍ථම ආරූප්‍යයාගේ අභාවය අරමුණුකොට උපදවන හෙයින් ඒ තෘතියාරූප්‍ය ධ්‍යානය ද සන්හුන් අරමුණු ඇති හෙයින් කාරණූපචාර වශයෙන් ශාන්තය යි මෙනෙහි කෙරේ. අංග ශාන්ත භාවයෙන් මෙනෙහි කරත් හොත් වෙනසක් නැති හෙයින් (ඉක්මීම නො වන හෙයින් මේ හුදෙක්) ආරම්මණ ශාන්ත භාවයෙන් ම මෙනෙහි කරයි.

 

ශාන්ත වශයෙන් මෙනෙහි කරත් ම ආදීනව දැක්මෙක් කෙසේ වේදැ යි චෝදනාවට පරිහාර දක්වනුවෝ ධ්‍යානයට සමවදිනු නො කැමති බැවින් ඉක්මවීම වන්නේය යි කීහ.

 

ඒ එසේමැයි:- යම් ධ්‍යානයක් ශාන්ත වශයෙන් මෙනෙහි කෙරේනම් ඒ ධ්‍යානය ආවජ්ජන සමාපජ්ජනාදි ප්‍ර‍තිපත්තියෙන් පුරුදු කරන්නේ වේ. එහෙත් තෘතීයාරූප්‍යයෙහි ඒ සර්‍වප්‍ර‍කාරයෙන් නැත්තේය. හුදෙක් අරමුණු කිරීම් මාත්‍රයෙකින් මෙනෙහි කිරීම වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට වඩා නේවසඤ්ඤා නාසඤ්ඤායතනය අතිශයින් ශාන්ත බැවින් හා ප්‍ර‍ණිත බැවිනි.

 

කුමක් මෙන් ද යත්:- මහත් වූ රාජානුභාවයෙන් ඇතකු පිට නැගී නුවර වීථියෙහි හැසිරෙන මහරජන තෙමේ එක් කඩක් තරව හැඳ, එක් කඩක් හිසේ බැඳ ඇත්දත් සුනු ඇඟපුරා තවරා ගෙන නොයෙක් ඇත්දත් කැටයම් කරන්නාවු ශිල්පියකු දැක “කොළ! මේ ඉතා දක්‍ෂ ශිල්පියෙක් වේය”යි ඔහුට තුටුපහටු වුවද “මම ද රාජ්‍ය සම්පත් හැරපියා මෙ බඳු ශිල්පියෙක් වෙමි”යි ඕහට අදහසෙක් නො වේ මය. ඒ රාජ්‍යශ්‍රියම මහානුභාව බැවිනි. වැලි ඔහු ඉක්මවා ඔබ්බට යන්නේ ය. ඒ සේ ම ඒ යෝගාවචරයා ද ඒ තෘතීයාරූප්‍යය ශාන්ත වශයෙන් මෙනෙහි කොට එය ඉක්මවා සංඥාවශේෂ සමාපත්ති නම් වූ යම් සමාපත්තියක් නිසා නේවසඤ්ඤී නාසඤ්ඤීය යි කීයේ නම් ඒ සමාපත්තිය වඩනේ වෙයි මෙහි සංඥාශීර්‍ෂයෙන් දේශනාව විය. මේ සංස්කාරයන් ගේ පරම සියුම් බවට පැමිණියාවූ ඒ චතුර්ථාරූප්‍ය සමාපත්තිය යි දතයුතු.

 

රූපාවචර ප්‍ර‍ථමධ්‍යානයා ගේ උපචාරයේ පටන් ධ්‍යාන පිළිවෙළින් කෙලෙසුන් සැස තුනී කරන්නාක් මෙන් පැවති භාවනා පිළිවෙළින් සංස්කාරයන් තුනීකොට අන්තිම සියුම් බවට පමුණුවන ලද සංස්කාර මේ ධ්‍යානයෙහි ඇති හෙයින් එයින් මත්තෙහි නිරෝධය මුත් සංස්කාරයන් ගේ පැවැත්මෙක් නැත්තේයි. එ හෙයින් ම චතුර්ථාරූප්‍ය සමාපත්තිය සංස්කාරාවශේෂ සමාපත්තිය යි කියන ලදී.

 

මෙහි වූ කලී පරමාර්ථ වශයෙන් චතුර්‍ථාරූප්‍ය ධ්‍යාන ලාභීහුගේ කුසල චිත්ත හෝ සතරවන අරූප තලයෙහි පහළ වූ සතර (අරූපසකන්‍ධ) විපාක චිත්තය හෝ දෘෂ්ටධර්‍ම සුඛ විහරණය පිණිස ඒ ධ්‍යානයට සමවන් රහතන්ගේ ක්‍රියා චිත්තය හෝ නේවසඤ්ඤා නාසඤ්ඤායතන නම් වේ. එහෙත් මෙහි විශේෂයෙන් අධිප්‍ර‍ඥා ශික්‍ෂාය යි කියන ලද මාර්‍ගාධිගමයට පූර්‍වභාගයෙහි පැවැති ධ්‍යානයට සමවන් පෘථග්ජනශෛක්‍ෂයන්ගේ ඒ ධ්‍යානය පිළිබඳ චිත්ත චෛතසික ධර්‍මයෝ ම කැමති වන ලදහ. ඖදාරික සංඥාවක් නැති හෙයින් ද, සියුම් සංඥාවක් ඇති හෙයින් ද, සම්ප්‍ර‍යුක්ත ධර්‍ම සහිත ඒ ධ්‍යානයෙහි සංඥා ඇත්තී ද නොවෙයි. නැත්තී ද නොවේය යි නේවසඤ්ඤා නාසඤ්ඤා නම් වේ.

 

විශේෂ :- මෙහි සංඥාවන් ගේ ඖදාරික සුඛුම භාවය ඒ ඒ භව වශයෙන් දතයුතු. පඤ්චවෝකාර භවයෙහි සංඥාවට වඩා චතුවෝකාර භවයෙහි සංඥාව සියුම් වේ. යට තුන් භූමියෙහි සංඥාවෝ ඖදාරිකයහ. එබඳු ඖදාරික සංඥා නැති හෙයින් නේවසඤ්ඤා යයි ද ඉතා සියුම් සංඥා ඇති හෙයින් න අසඤ්ඤා යයි ද ව්‍යවහාර වේ.

 

‘නේවසඤ්ඤා’ යන පදයෙහි ‘න’ කාරය අභාවාර්‍ථයෙහි වේ. ‘න අසඤ්ඤා’ යන්නෙහි ‘න’ කාරය අන්‍යාර්‍ථයෙහි ය. අකාරය අභාවාර්‍ථයෙහි පවතී. එසේ වන්නා “අසඤ්ඤං අනාසඤ්ඤං”යි සෙසු ධ්‍යානයන්හි මෙන් ඖදාරික සංඥා නැති හෙයින් අසඤ්ඤ ද, සර්‍වප්‍ර‍කාරයෙන් සංඥාවගේ අභාවය නුවූ හෙයින් අනාසඤ්ඤා ද, වන හෙයින් ‘නේවසඤ්ඤානාසඤ්ඤා’ යයි කියන ලදි.

 

නේවසඤ්ඤා නාසඤ්ඤා වූයේ ද, මනායතන ධර්‍මායතනයන්ට එක දේශයකින් ඇතුළත් වන හෙයින් ආයතන වූයේ ද, හේමනුයි නේවසඤ්ඤා නාසඤ්ඤායතන නම් වේ. (මෙහි ආයතන භාවය ආධාර හෙයින් නිශ්‍ර‍ය වශයෙන් වේ.) එසේ ම සියුම් සංඥාව විදර්‍ශනා කෘත්‍යයට අපොහොසත් බැවින් නේවසඤ්ඤායයි ද, සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් විද්‍යාමාන හෙයින් නාසඤ්ඤායයි ද ව්‍යවහාර හෙයින් ඒ දෙපදය ගළපා නේවසඤ්ඤා නාසඤ්ඤාය යි කියන ලදී. එය ම අවශේෂ ධර්‍මයන්ට ආධාරවේ නුයි නේවසඤ්ඤා නාසඤ්ඤායතන නම් වේ.

 

තවද මෙහි සංඥා මාත්‍ර‍ය පමණක් නො වැ වේදනාව ද ගෙන ‘නේව වේදනා නා වේදනා’ චිත්තය ද ගෙන “නෙව චිත්තං නා චිත්තං” ස්පර්‍ශය ගෙන නෙව ඵස්සො නා ඵස්සො, යනාදීන් ඒ ඒ සම්ප්‍ර‍යුක්ත ධර්‍මයෙහි ව්‍යවහාර කළ හැකි වුව ද, මේ දේශනාව සංඥා ශීර්‍ෂයෙන් (ප්‍ර‍ධාන කොට) ගෙන මෙසේ ව්‍යවහාර කරන ලදි. නානත්ත කායා නනත්ත සඤ්ඤී, යනාදියෙහි මෙනි. (මෙහි සංඥා නම්, විඥානය) යම්කිසි අර්‍ථයක් නිසා ස්වභාවයෙන් ඇතැයි කිවයුතු ධර්‍මයාගේ ම අන්කිසි අර්‍ථ විශේෂයක් නිසා නැතැ යි කිවයුතු බැවින් මෙසේ කියන ලදී.

 

නිදර්‍ශනයෙහි:- හෙරණ නමක් පළමු දිනයෙහි පාත්‍රයෙහි තෙල් ගල්වා තුබුයේය. පසුදා උදය කැ‍ඳ වළඳන පිණිස තෙරුන්නාන්සේ ‘පාත්‍ර‍ය ගෙනව’යි කී කල ස්වාමීනි! පාත්‍රයෙහි තෙල් යැ’යි කීය. එසේ වන්නා ‘ඒ තෙල් ගුලාවෙහි වැක්කිරීමට ගෙනෙව’යි තෙරුන් කී කල ස්වාමීනි! ‘තෙල් නැතැ’යි හෙරණ කීය. මේ උපමායෙන් භික්‍ෂූන් ලග්නා අකැප කිළියෙහි තෙල් සහිත පාත්‍ර‍ය තුබූ හෙයින් එහි කැඳ වත්කළ කල කැඳ සමග සන්නිධි වන හෙයින් තෙල් ඇතත් නලයක පුරාලන පමණ තෙල් නැති හෙයින් ‘තෙල් නැතැයි’ කී. එසේ ඒ සංඥාව ද ඖදාරික සංඥා කෘත්‍යය කිරීමට අසමර්‍ථ හෙයින් නේවසඤ්ඤා නම් වුව ද, සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් ඇති හෙයින් නාසඤ්ඤා නම් වේ.

 

විශේෂ:- මෙහි සංඥා කෘත්‍ය නම් අරමුණු හැඳිනීම හා විදර්‍ශනා ගෝචර භාවයට පැමිණ නාමරූපයන් ගේ කලකිරීම වූ නිර්විදා ඥානය ඉපදවීම ය. ‘මඳ උණුසුම් ජලය නහන්නාගේ ශරීරය නොදවා සුව එලවන සේ ය’ මේ සංඥාව සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් ප්‍ර‍කට වැ සඤ්ජානන කෘත්‍යය කිරීමට අසමර්‍ථ හෙයින් යට තුන්ධ්‍යානයෙහි සංඥාව මෙන් විදර්‍ශනා ඥානයාගේ ගෝචර බවට පැමිණ නිර්විදාඥානය ඉපදවීමට අසමර්‍ථ වේ. අරමුණෙහි ඉතා සන්හුන්ව පවත්නා හෙයින් අරමුණු හැඳිනීම ද නොකට හැකි වෙයි. එහෙයින් ම අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කොට විදර්‍ශනාවට අරමුණු වැ නිර්‍වෙදය ඉපදවිය නොහැකි වේ.

 

විස්තර:- අන්‍ය වූ කාමාවචර රූපාවචරාදි චිත්ත-චෛතසික සඞ්ඛ්‍යාත සෙසු ස්කන්‍ධයන්හි විදර්‍ශනාභිනිවේශ නොකළ (අනිත්‍යාදි වශයෙන් නොදත්) මහණ නේවසඤ්ඤා නාසඤ්ඤායතන මාත්‍ර‍යක්ම සම්මර්‍ශනය කොට නිර්විදාඥානය පැමිණෙන්නට සමර්‍ථ නො වේ. සර්‍වඥයන් වහන්සේ හැර සියල්ලන් ගෙන් අගතැන්පත් සැරියුත් මහතෙරුන් වහන්සේ ද පවා නො පොහොසත් වේම ය, ප්‍ර‍කෘතියෙන් විදර්‍ශනා වඩනා සැරියුත් තෙරුන් වහන්සේ වැනි මහා ප්‍රාඥ යෝගාවචර තෙමේ ස්කන්‍ධාදීන් ගේ පටන් විදර්‍ශනාභිනිවේශය කොට ද්වාරාලම්බනයන් නිසා පවත්නා ධර්‍මයන් ගේ වශයෙන් ද්වාදසායතන-අට්ඨාරස ධාතුන් විදර්‍ශනා කරනුයේ ඒ නේවසඤ්ඤා නාසඤ්ඤායතන අරමුණුකොට ඇති උදයව්‍යයඥානය උපදවන්නට සමර්‍ථ වේ.

 

කෙසේද යත්:- ‘මෙසේ මේ ධර්‍මයෝ නො තිබී උපදිති.” “තිබී වැනසෙති යි” කියා ය. චතුර්ථාරූප්‍ය ධ්‍යාන චිත්තෝත්පාදයට ඇතුළත් වූ ස්පර්‍ශාදී වූ ධර්‍මයන් වෙන් නොකොට (කලාප වශයෙන්) සම්මර්‍ශනය කෙරේ. ඵස්සාදි ධර්‍මයන් වෙන්කොට වෙන වෙන ම අනුපද ධර්‍ම වශයෙන් එක එක ධර්‍මය පිළිවෙළින් අනිත්‍යාදි වශයෙන් සම්මර්‍ශනය කරන්නා හට මේ සතරවන අරූප ධ්‍යානය විදර්‍ශනා කොට ඒ නිර්විදාඥානය නො ලැබේ.

 

(ස්පර්ශාදි ධර්‍මයන් වෙන් වෙන් කොට වෙන වෙන ම ස්වරූපයෙන් ගෙන අනිත්‍යාදි වශයෙන් සම්මර්‍ශනය කිරීම අනුපද ධර්‍ම විදර්‍ශනාව ය.)

 

එසේ චතුර්‍ථරූප්‍ය ධ්‍යානයෙහි ඇතුළත් ස්පර්‍ශාදි එක එක ධර්‍මය ගෙන අනිත්‍යාදි වශයෙන් බැලීමට නුවණැත්තවුන් අතුරින් අගතැන් පත් සැරියුත් මහ තෙරණුවෝ ද අසමර්‍ථය හ. හුදෙක් එහි ඇතුළත් ස්පර්‍ශාදි ධර්‍ම එක්කොට කලාප වශයෙන් විදර්‍ශනාවට අරමුණු වේ. මාර්‍ග-උදකෝපමායෙන් ද මේ අර්‍ථය දත යුතු.

 

මගට පිළිප් තෙර කෙනකුන් ඉදිරියේ යන හෙරණ නම් වහන් තෙමෙන පමණ දියත්තක් දැක ස්වාමීනි! වහන් ගැලවුව මැනව! ‘ජලය ඇතැයි’ කී. එකල තෙරුන් වහන්සේ සාමණෙරය! දිය ඇත්තේ වී නම් ‘නහන කඩ ගෙනෙව ජලය නහමි’යි කීහ. එකල හෙරණ, ස්වාමීනි! ‘ජලය නැතැ’යි කී. එහිදු වහන් තෙමෙන පමණ ජලය ඇති හෙයින් ජලය ඇතැයි ද නහන පමණ ජලය නැති හෙයින් ජලය නැතැයි ද කීයේ වේ. එසේ ම ව්‍යක්ත සංඥා නැති හෙයින් නේවසඤ්ඤායයි ද, සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් විද්‍යාමාන හෙයින් නාසඤ්ඤායයි ද, දතයුතු.

 

උපසම්පජ්ජ විහරති = මෙය ද පෙර කී සේම ය.

 

(මේ ටීකාගත විස්තරයෙකි.)

 

ප්‍ර‍ශ්නයෙහි:- යට ධ්‍යානයන්හි “අනන්තො ආකාසො, අනන්තං විඤ්ඤාණං, නත්‍ථි කිඤ්චි”යි, ඒ ඒ තැන කීවා සේ මෙහි භාවනාකාරය නො කීවේ කවර හෙයින් ද?

 

පිළිතුර:- භාවනා ආකාරය නම් උපචාර සහිත ධ්‍යානයා ගේ තමා පිළිබඳ අරමුණෙහි පවත්නා ආකාරය යැ. මෙහි අරමුණු නම් ආකිඤ්චඤ්ඤායතන ධර්‍ම යැ. ඔවුන් ගන්නා කල පුරෝගාමි ධර්‍මයන් ගේ වශයෙන් එකක් හෝ ගත යුතු ය.

 

වෙන වෙන ම සියල්ල හෝ ගත යුතු ය. එකක් ගන්නේ ප්‍ර‍ථම පක්‍ෂයේ විඤ්ඤාණය ගතයුතු වේ. එසේ වන්නා විඤ්ඤාණං ‘විඤ්ඤාණ’ යි මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතන ගැනීම වේ. මෙසේ ගනු ලබන්නේ චතුර්‍ථාරූප්‍යයට ආකිඤ්චඤ්ඤායතනය අරමුණු වන හෙයින් ආකිඤ්චඤ්ඤං ආකිඤ්චඤ්ඤං (කිසිවක් නැතැ යි) මෙනෙහි කළ යුතු වේ. එසේ වන්නා ආකිඤ්චඤ්ඤායතනය හෝ අභාවය ආලම්බනය වේ.

 

නේවසඤ්ඤා නාසඤ්ඤායතන භාවය ආලම්බනය නො වේ. මේ මෙහි අකාරණය. එසේ ධ්‍යානය නො පවත්නා හෙයිනි. (චතුර්‍ථාරූප්‍ය ධ්‍යානය විඤ්ඤාණඤ්චය හෝ ආකිඤ්චඤ්ඤය අරමුණු කොට නො පවත්නේ මය.)

 

තව ද ප්‍ර‍ශ්නයෙකි:- චතුර්‍ථාරූප්‍ය ධ්‍යානයේ ශාන්ත බව කුමක් ද? එසේ නම් කුමක් හෙයින් පාළියෙහි එසේ නො කියන ලද ද?

 

පිළිතුර :- සූත්‍රයෙහි හුදෙක් එසේ නො ගන්නා ලදි. විභඞ්ගයෙහි වනාහි:-

 

“තඤ්ඤෙච ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසිකරොති. සඞ්ඛාරාවසෙස සමාපත්තිං භාවෙති”[367] යි දක්නා ලැබේ.

 

ප්‍ර‍ශ්නය :- එසේ නම් කුමක් හෙයින් සූත්‍රයෙහි ද විභඞ්ගයෙහි මෙන් එසේ නොගන්නා ලද ද?

 

පිළිතුර :- වෛනෙයාධ්‍යාශය වශයෙන් හෝ දේශනා විලාශ හෙයිනි. ඒ මෙසේ යි :- යට තුන් ආරූප්‍යයෙහි “අනන්තො, ආකාසො, අනන්තං විඤ්ඤාණං, නත්‍ථිකිඤ්චි”යි භාවනාකාරය ගන්නා ලදි. එහි නො එසේ ගත් කල්හි ම ඒ අර්‍ථය අවබෝධ කෙරෙති. ඔවුන් ගේ වශයෙන් සූත්‍රයෙහි එසේ වදාළහ.

 

විශේෂ :- අභිධර්‍මයෙහි සූත්‍රාන්ත භාජනිය ද සූත්‍රාන්ත ගතිකයැ. යම් වෛනේයජන කෙනෙක් බෙදා වදාළ කල්හි ම ඒ අර්‍ථය අවබෝධ කෙරෙත් නම් ඔවුන්ගේ වශ‍යෙන් විභඞ්ග භාවනාචාරය වදාළහ. ධර්‍මස්වාමි වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ද, ධර්‍මදේශනා ප්‍ර‍කාරය දන්නා සේක් ඇතැම් තැනෙකැ භාවනා ආකාරය ගනිති. ඇතැම් තැනෙකැ නො ගනිත්. ඒ ඒ දේශනාව ම ඒ ඒ වෛනේයයන් විනයනය සඳහා යැ. මේය දේශනා විලාශය නම්.

 

තවද අර්‍ථයෙකි :- “සූත්‍රාන්ත දේශනාව පර්‍ය්‍යාය (අමුඛ්‍ය = අප්‍ර‍ධාන) කථාව හෙයින් එහි භාවනා ආකාරය නොනැගේ. එහෙත් අභිධර්‍ම දේශනාව නිෂපර්‍ය්‍යාය (ප්‍ර‍ධාන කථාව) හෙයින් එහි භාවනා ආකාරය ගන්නා ලදි.

 

මෙසේ මෙහි භාවනා ආකාරය ගැනීමේ හා නො ගැනීමේ හේතු දතයුතු.

 

මතාන්තරයෙකි :- අභයගිරි - ජේතවන වැසි ඇජරෝ ‘චතුර්‍ථරූප්‍යධ්‍යානයෙහි වෙනස දැක්වීම සඳහා සූත්‍රයෙහි දී භාවනා ආකාරය නො ගන්නා ලදැයි, යෙති. ඒ විශේෂ අනුපූර්‍ව භාවනායෙන් ජනිත යැ. හෙද (ඒ අනුපූර්‍ව භාවනාව ද) ප්‍ර‍භාතව්‍ය ධර්‍ම පහකිරීමෙන් සියලු ධ්‍යාන ලැබිය යුතු හෙයින් ප්‍ර‍හාන ක්‍ර‍මයෙන් ජනිත යැ.

 

ඒ මෙසේ යි:- කාමච්ඡන්‍දාදි විරාගයෙන් ප්‍ර‍ථමධ්‍යානය ද, විතර්‍ක - විචාර සංසිඳවීමෙන් ද්විතීයධ්‍යානය ද, ප්‍රීති විරාගයෙන් තෘතීයධ්‍යානය ද, සොමනස්ස (සුඛ) අස්තඞ්ගමයෙන් චතුර්‍ථ ධ්‍යානයදැ’යි මෙසේ රූපාවචර ධ්‍යාන වදාළහ. රූප සංඥාදි ඉක්මවීම මුල්කොට අරූපධ්‍යාන වදාළහ. හුදෙක් ධ්‍යාන පමණක් නොවේ. සියලු සීලය ද, සියලු ප්‍ර‍ඥාව ද, ප්‍ර‍තිපක්‍ෂ ධර්‍ම ප්‍ර‍හාණයෙන් ම සම්පාදනය කළ යුතු හෙයින් ප්‍ර‍හාතව්‍ය ධර්‍ම සමතික්‍ර‍මණ මුඛයෙන් දේශිත යැ.

 

ඒ මෙසේ යි:- ‘ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකීමය’ යනාදීන් සීල සංවරය ද, ඇසින් දැක නිමිති කුඩා නිමිති නො ගැනීම ය යනාදීන් ඉන්‍ද්‍රිය සංවරය ද, (නෙව දවාය නමදාය) ක්‍රීඩා පිණිස මද වැඩීම පිණිස නොවේ යනාදීන් භෝජනයෙහි පමණ දැනීම ද, මිථ්‍යා ආජීවයෙන් වෙන් වැ සම්‍යක් ආජීවය කරන්නේ ය යනාදීන් ආජීවපාරිශුද්ධිය ද, ‘පඤ්චුපාදානක්ඛන්‍ධයෙහි අධික ලෝභය හැර පහවූ අභිධ්‍යා ඇතිව විසිය යුතු ය’ යනාදීන් ජාගරියානුයොගය ද, ‘අස්මිමානය නැසීමෙන් අනිත්‍ය සංඥාව වැඩිය යුතු ය’ යනාදීන් මේඝිය සූත්‍රාගත සේ[368] ප්‍ර‍ඥා ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මප්‍ර‍හාණයෙන්, විදර්‍ශනා ප්‍ර‍ඥාව වැඩීම ද, දේශනා කළහ. එහෙයින් ම ප්‍ර‍හාතව්‍ය ධර්‍ම ඉක්මවීම් මුඛයෙන් ම ධ්‍යාන දේශනා කරනු බුදුහු “විවිච්චෙව කාමෙහි” යනාදීන් වදාළහ. එය යට කී සේ ය. තවද රූප සංඥාදීන් සමතික්‍ර‍මණ මුඛයෙන් අරූපාවචරධ්‍යාන වදාළහ.

 

විස්තර :- එහි (රූපාවචර ප්‍ර‍ථමධ්‍යානය) භාවනා විශේෂයෙන් අධිගත වූ විතර්‍කාදීන්ගෙන් හා තීක්‍ෂණ - විශ ද ශූරභාවය - ඇති ශ්‍ර‍ද්ධාදි පඤේචන්‍ද්‍රිය ධර්‍මයන්ගෙන් යුක්ත හෙයින් කාමච්ඡන්‍දාදි නීවරණයන් හා ඒ හා පවත්නා පාප ධර්‍මයන් වික්කම්භණය කිරීමෙන් උත්තරිමනුෂ්‍ය ධර්‍මත්‍වයට පැමිණි රූපාවචර ප්‍ර‍ථම ධ්‍යානය කාමාවචර ධර්‍මයන්ට වඩා අතිශයින් සියුම් වේ. ශාන්ත වේ. ප්‍ර‍ණීත වේ. එසේම ද්විතීය ධ්‍යානය භාවනා විශේෂයෙන් විතර්‍ක-විචාර සංඛ්‍යාත ඖදාරිකාංගප්‍ර‍ාණයෙන් ප්‍ර‍ථම ධ්‍යානයට වඩා අතිශයින් සංසුන් වෙයි. එසේ ම තෘතීය-චතුර්‍ථ ධ්‍යානයෝ ක්‍ර‍මයෙන් පළමු පළමු ධ්‍යානද්වයට වඩා ශාන්තතර ශාන්තතම වෙති. එසේම අරූපාවචර ප්‍ර‍ථමධ්‍යානය රූප විරාග භාවනා වශයෙන් පවත්නා හෙයින් ආරම්මණ ශාන්ත බැවින් හා අඞ්ගයන්ගේ සංසුන් බැවින් ප්‍ර‍කෘති කාමාවචර ධර්‍මයන්ට වඩා ද, සියලු රූපාවචර ධ්‍යානයන්ට වඩා ද ශාන්ත වෙයි. සියුම් වෙයි. අරූපාවචර ද්විතීයධ්‍යානාදිය පිළිවෙළින් ශාන්ත භාවයෙන් ඒ ආලම්බන කොට පවත්නා ධ්‍යාන ධර්මයෝ ද ශාන්ත ස්වභාවය ඇත්තෝ වෙති.

 

විශේෂ :- ලෝකෝත්තර ධර්‍මලාම්බනික වූ සෝවාන් ආදි මාර්‍ග ඵල ධර්‍මයන් මතු මත්තෙහි ක්‍ර‍මයෙන් සංසුන් වන්නා සේ ධර්‍මයන්ගේ වශයෙන් මහද්ගත භාවයෙන් භේදයක් නැතත් රූපාවචර චතුර්‍ථධ්‍යානයට වඩා අරූපාවචර ධ්‍යානය අඞ්ග වශයෙන් ද සංසුන් වෙයි. එහෙයින් අරූපධ්‍යානයා ගේ ශාන්ත විමෝක්‍ෂ බව වදාරන ලදි. එසේ ම ද්විතීයාරූප්‍යාදීහු ද, ප්‍ර‍ථමාරූප්‍යට වඩා අඞ්ග වශයෙන් ද, ආලම්බන වශයෙන් ද, ශාන්ත, ශාන්තතර, ශාන්තතම භාවයට පැමිණියාහු ය. එසේ ම ශාන්තාදි භාවයට පැමිණියා වූ භාවනා විශේෂ සමායෝගයෙන් (මේ භාවනා විශේෂය වනාහි) ප්‍ර‍ථමධ්‍යාන උපචාරයෙහි පටන් ඒ ඒ ප්‍ර‍භාතව්‍ය ධර්‍මයන් ඉක්මවීමෙන් ශාන්ත සූක්‍ෂම භාවයට පමුණුවමින් චතුර්‍ථාරූප්‍යයෙහි සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයට පමුණුවයි.

 

එහෙයින් චතුර්‍ථාරූප්‍යය වනාහි ආරම්මණ භාවයෙන් ද, නාමධර්‍මයන්ගේ විභූතාකාරයෙන් ද, සිටීමට නො පොහොසත් වී නම් අරමුණු කිරීමෙහි කෙසේ සමර්‍ථවේ ද? නො වේම ය. එහෙයින් ශාස්තෘන් වහන්සේ යට තුන් ධ්‍යානයෙහි භාවනා ආකාරය වදාරා මෙහි එබන්දක් නො ලැබෙන බැව් දක්වන්නට පර්‍ය්‍යාය දේශනා හෙයින් සූත්‍ර‍යෙහි භාවනා ආකාරය නො දෙසූ සේක. එහෙත් අරමුණු සහිත ධර්‍මය අරමුණෙහි පවත්නා ආකාරය ඇත්නු යි අති සූක්‍ෂම භාවයට පැමිණියා වූ ඒ ධ්‍යානය දක්වනු පිණිස “තඤ්ඤෙච ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසි කරොති”යි වදාළහ. යථාධර්‍ම ශාසන හෙයින් හෝ පූර්‍වභාග ප්‍ර‍තිපදා වශයෙන් හෝ “සන්තතො මනසිකරොති”යි වදාළහ. එකල යෝගාවචරයාහට ඒ අරමුණ ප්‍ර‍කට හෙයිනි. එහෙත් අර්පණා වශයෙන් සූත්‍රයෙහි භාවනා ආකාරය අප්‍ර‍කට හෙයින් නො ගන්නා ලදි.

 

ඒ එසේ මැ යි :- කර්‍මස්ථානය බුද්ධානුස්සති ආදි කිසි තැනෙකැ ආදියෙහි අප්‍ර‍කට වේ. ආනාපානසති ආදි කිසිවෙකැ මධ්‍යයෙහි අපකට වේ. උපසමානුස්සති ආදිය සේ කිසිවිටෙකැ ආදි - මධ්‍ය දෙක්හි අප්‍ර‍කට වේ. චතුර්‍ථාරූප්‍යයෙහි වනාහි අවසානයෙහි අප්‍ර‍කට වේ. භාවනාව මුදුන් පැමිණි කල්හි ආලම්බනය ද, අප්‍ර‍කට වන හෙයිනි. එහෙයින් මේ විශේෂය දක්වනු පිණිස බුදුහු චතුර්‍ථාරූප්‍යයෙහි භාවනාකාරය නො ගත්හ. සර්‍වප්‍ර‍කාරයෙන් නැති නිසා නො වේ ය යි මෙහි නිෂ්ටාවට යා යුතු.

 

නේවසඤ්ඤා නාසඤ්ඤායතන කර්‍මස්ථානයේ විස්තර කථාව ය.

 

ප්‍ර‍කීර්‍ණක කථාව

 

මෙසේ අසදෘශ ස්වරූප වූ ලෝකස්වාමින් වහන්සේ වදාළ පරිද්දෙන් සතර වැදෑරුම් අරූපධ්‍යානයන් දැන එයට අනතුරුව එහි ප්‍ර‍කීර්‍ණක කථාව ද දත යුතු.

 

ආරම්මණාතික්කමතො - චතස්සොපි භවන්තිමෙ

අඞ්ගාතික්කමමෙතෙසං - න ඉච්ඡන්ති විභාවිනො

 

‘අරූප සමාපත්තීහු රූපාදි අරමුණු ඉක්මවීමෙන් සතර දෙනෙක් මැ වෙති. එහි රූපාවචර ධ්‍යානයෙහි මෙන් අඞ්ගාතික්‍ර‍මණය නුවණැත්තෝ කැමැති නොවෙති.’

 

විස්තර :- මේ සතර අතුරින් ප්‍ර‍ථමරූප්‍යය කසිණ රූපය වූ ප්‍ර‍තිභාග නිමිත්ත ඉක්මවීමෙන් ද, ද්විතීයරූප්‍යය කසිණුග්ඝාටිමාකාශය ඉක්මවීමෙන් ද, තෘතීය ය ඒ ආකාශයෙහි පැවති විඤ්ඤාණය ඉක්මවීමෙන් ද, චතුර්‍ථය විඤ්ඤාණය ගේ අපගමය ඉක්මවීමෙන් දැයි මෙසේ අරමුණු දැක්වීමෙන් වෙති.

 

රූපාවචර සමාපත්තීන්හි මෙන් අඞ්ගාතික්‍ර‍මණය මෙහි නැති. මේ අරූප සමාපත්තීන්හි උපෙක්ඛා එකග්ගතා විසින් අඞ්ග දෙකෙකි. එහෙත් මොවුන් අතුරින් පසුව පසුව වූ සමාපත්තීහු අතිශයින් ප්‍ර‍ණීත්තර වෙති. එය ප්‍රාසාදතල, සාටිකා උපමාවලින් දතයුතු.

 

ඒ මෙසේයි :- “සිවු මහල් පහයෙක යට තෙලෙහි දිව නැටුම් වැයුම්, සුවඳ මල්, අමා බොජුන්, අසුන්-වස්ත්‍ර‍-සුවඳ දුම් - විලවුන් - වත්සුණු ආදි වශයෙන් උතුම් පස්කම් ගුණ වේ. දෙවන මහලෙහි එයට වඩා ද, තුන්වන මහලෙහි එයටත් වඩා ද, හතරවන මහලෙහි එයටත් වඩා ද, උතුම් වූ පස්කම් සුව එළවයි. හුදෙක් ඒ සතරම පාසාදතල වුව ද පස්කම් සුවයෙහි සමෘද්ධත්‍වයෙන් යට යට තලයනට වඩා මතු මතු තල අතිශයින් ප්‍ර‍ණීත වේ.

 

එසේ ම එක ම ගැහැණියක කටිනා ලද දලහූය, සිහින් හූය, අතිශයින් සිහින් හූය, හාත්පසින්න අතිශයින් සිහින් හූය යන සතරාකාර වූ හූ සතර පලම ය, තුන් පලම ය, දෙ පලමය, එක් පලම යැයි මෙසේ ඒ ඒ ගණනින් වියන ලද අයම් විතරින් සම පමණ වූ වස්ත්‍ර‍ සතරෙක් වේ. ඒවා ප්‍ර‍මාණයෙන් සම වුව ද ස්පර්‍ශයෙන් හා සියුම් මහඟු බැව් ආදීන් පළමු පළමු සළුවලට වඩා පසු පසු වූ සළු අතිශයින් ප්‍ර‍ණීත වන්නා සේ මේ අරූපධ්‍යාන සමාපත්තීහු අඞ්ග වශයෙන් සම වුව ද, භාවනා භේදයෙන් ඒ අඞ්ගයන් ගේ ප්‍ර‍ණීත භාවයෙන් පසු පසු ව සමාපත්තීහු විශේෂයෙන් ප්‍ර‍ණීතතර වෙති.

 

තවද උපමාවෙකි :- අපවිත්‍ර‍ ප්‍රදේශයෙක මණ්ඩපයෙක් වෙයි. එහි පැමිණි පුරුෂයෙක් අපවිත්‍ර‍යට පිළිකුලින් ඒ මණ්ඩපයෙහි එල්බ සිටී. ඒ වෙත පැමිණි අන් පුරුෂයෙක් ඔහු නිසා එල්බ ගනී තව ද පැමිණි තුන්වන පුරුෂයෙක් ‘ඒ දෙදෙනා සිටුනා සේ නොයෙදේ’ යැයි සලකා ඉන් පිටත සිටී. එහි පැමිණි සිව්වැනි පුරුෂයෙක් ඒ පිටත සිටියහු ඇසුරින් සිටී.

 

සංසන්‍දනය:- අපවිත්‍ර‍ ප්‍රදේශයේ මණ්ඩපය සේ කිසුණු ඉගුළු අහස ද, අසූචියෙහි පිළිකුලින් මණ්ඩපයෙහි එල්බ සිටියහු සේ, රූප නිමිත්හි පිළිකුලින් ආකාශාලම්බන වූ ආකාසානඤ්චායතන ධ්‍යානය ද, එල්බ සිටිය හු නිසා සිටි පුරුෂයා සේ (ඒ ආකාශාලම්බන) විඤ්ඤණඤ්චායතන ධ්‍යාන චිත්තය ද, ඒ දෙනො නො නිසා පිටත සිටියහු මෙන් ආකාසානඤ්චායත ධ්‍යානයා ගේ අභාවය අරමුණු කොට උපදවන ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ද, ඒ පිටත සිටියහු නිසා සිටි පුරුෂයා සේ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය අරමුණු කොට පැවති නේවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යාන චිත්තය ද, දතයුතු. තවද නේවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානයට ආසන්න වූ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය සතුරු වුව ද ඇසුරු කොට ගනී. වෙන ඇසුරු කළ යුක්තක් නැති හෙයිනි. යම් සේ චණ්ඩ පරුෂ රජකු වුව ද වෙන ඇසුරු කළ යුතු මනා රජකු නැති කල තමා වෘත්තිය සඳහා ඇසුරු කරන මහජනයා මෙනි.

 

එසේ ම හිණි මුදුනට නැගි පුරුෂයෙක් අල්ලා ගත හැකි අනෙකක් නැති කළ එය ම අල්ලා සිටිනා සේ මේ චතුර්‍ථරූප්‍ය ධ්‍යානය ද තෘතීයාරූප්‍ය ධ්‍යානය අරමුණු කොට පවත්නේ ය.

 

 

හුදී ජනයා ගේ ප්‍ර‍සාදය පිණිස කළ

සිංහල විශුද්‍ධි මාර්‍ගයේ සමාධි භාවනාධිකාරයට ඇතුළත්

ආරූප්‍ය නිර්දේශ නම් වූ දස වන පරිච්ඡේද යි.

 


11 වන පරිච්ඡේදය

සමාධි නිර්දේශය

 

ආහාරයෙහි ප්‍ර‍තිකූල සංඥාව (1)

 

මෙසේ අරූපකථාවට අනතුරුව එක ම සංඥාව යයි උදෙසන ලද ‘ආහාරයෙහි පිළිකුල් සංඥාව’ භාවනා කිරීමේ විස්තරය වාරය පිළිවෙළින් පැමිණි හෙයින් මෙතැන් සිට ඒ දැක්වේ.

 

විශේෂ:- (සංඥා ශබ්දය නානාර්‍ථයෙහි පවතී.)

(1) “රූපසඤ්ඤා සද්දසඤ්ඤා” යනාදියෙහි ඇඳිනීමට කාරණ වූ ලක්‍ෂණයෙහි ද,

(2) “අනිච්චසඤ්ඤා දුක්ඛසඤ්ඤා” යනාදියෙහි විදර්‍ශනායෙහි ද,

(3) “උද්ධුමාතකසඤ්ඤාති වා සොපාක, රූපසඤ්ඤාති වා, ඉමෙ ධම්මා එකට්ඨා උදාහු නානට්ඨා” යනාදියෙහි ශමථයෙහි ද ආයේ ය. මෙහි ද ශමථ පරිකර්‍මයෙහි දතයුතු. (ආහාරයෙහි පිළිකුල් ආකාරය ගැනීම හා ඉන් උපදවන උපචාරධ්‍යානය ද මෙහි අදහස් කරන ලදි.)

 

තවද ‍මේ භාවනා විධියෙහි ඒ පිළිකුල් කටයුතු ආහාරයෙහි ම කළකිරීම හා නො ඇලීම උපදවනු පිණිස මේ අවසරයෙන් සියලු ආහාරය:

 

(1) කෘත්‍යය

(2) ප්‍රභේදය

(3) ආදීනවය

(4) උපමාය

 

යන මොවුන්ගේ වශයෙන් ප්‍ර‍කාශ කරනු ලැබේ.

 

(1) “ආහරතීති ආහාරො” = ඵලයක් එළවානුයි ආහාර නම්. ආහාරය තමා ප්‍ර‍ත්‍යය කොට (උපකාරයෙන්) ඉපදීමෙහි දී හෝ පැවතීමේ දී තමා අයත් ඵලය උපදවන්නා හෝ පවත්වන්නා යනු අදහසයි.

(2) (i) කබලිඞ්කාරාහාරය

(ii) ඵස්සාහාරය

(iii) මනෝ සඤ්චේතනාහාරය

(iv) විඤ්ඤාණාහාරයැ’යි ඒ සිවු වැදෑරුම් වේ.

 

(i)      “කබල කොට ගිලිනා අර්‍ථයෙන් කබලිඞ්කාරාහාරය යි.” මේ වූ කලී වස්තුව (බත් ආදි ද්‍ර‍ව්‍යය) සහිත වැ කියන ලදී. ලක්‍ෂණ වශයෙන් නම් ඕජාව යැ. මේ කබලීකාරාහාර සංඛ්‍යාත වස්තුව පෙර කී සේ මේ ශරීරය පවත්වන හෙයින් කබලිඞ්කාරාහාරය යි කියනු ලැබේ (අනෙක් ආහාරයන්හි ද ආහාරාර්‍ථය මෙසේ ම දතයුතු)

(ii)    අරමුණු වැදගන්නා හෙයින් ඵස්ස නම් වේ.

 

(අරූප ධර්‍ම වූ ඵස්සය අරමුණෙහි (ස්පර්‍ශ) වැදගන්නා ආකාරයෙන් පවත්නා හෙයින් ස්පර්‍ශනලක්‍ෂණයයි කියනු ලැබේ.

 

(iii)  චේතනය කරනුයේ චේතනා යි. තමා සමග යෙදුනා වූ ඵස්සාදි ධර්‍මයන් අරමුණෙහි ගළපන්නේය යන අර්‍ථ යි. මනස නම් වූ සිත ඇසුරු කොට පවත්නා චෙතනාව මනොසඤ්චේතනා ය.

 

(iv)    යුක්ති සැලකීම් වශයෙන් විශේෂයෙන් දැනගන්නා අර්‍ථයෙන් විඤ්ඤාණ යැ.

 

විශේෂාර්‍ථ :- මෙ සේ සාමාන්‍ය අර්‍ථයෙන් ද, විශේෂ අර්‍ථයෙන් ද, මෙහි ආහාර දතයුතු. ඵලයට උපකාර වූ අන්‍ය ධර්‍ම ඇත ද මේ සතර පමණක් ආහාරය යි කියන ලද්දේ උපකාර වශයෙන් ද, අතිරේක වශයෙන් ද, ප්‍ර‍ත්‍යය වන හෙයිනි.

 

ඒ මෙසේයි :- මොවුනතුරින් ප්‍ර‍ථමය වූ කබලිඞ්කාරාභාරය තමා පිහිටි රූප කලාපයෙහි ඇතුළත් වූ සෙසු රූපයන්ට ද සුදුසු සේ උපකාර වෙමින් ඔජටඨමක රූපය උපදවයි. දෙවැන්න වේදනාව පවත්වයි. තුන්වැන්න ත්‍රිවිධ භවයෙහි ප්‍ර‍තිසන්‍ධිය පවත්වයි. සිවුවැන්න ප්‍ර‍තිසන්‍ධික්‍ෂණයෙහි නාම - රූප පවත්වයි.

 

විස්තර :- (ටීකාගත) කර්‍මජාදි භේද භින්න වූ ඕජාව ප්‍ර‍ත්‍යය ලාභය ඇති කල්හි රූපකලාප සන්තති දෙක තුනක් ගළපමින් ඔජට්ඨමක රූපය උපදවයි.

 

සුඛ වේදනාදීන්ට ප්‍ර‍ත්‍යය වූ ඵස්ස ආහාරය සුදුසු පරිදි ත්‍රිවිධ වේදනාව උපදවයි.

 

පුණ්‍යාභිසංස්කාරාදි භේද භින්න වූ මනෝසඤේචතාභාරය කාමාදි තුන්භවයෙහි සවිඤ්ඤාණක වූ ද, අවිඤ්ඤාණක වූ ද, ප්‍ර‍තිසන්‍ධිය එළවයි.

 

විඤ්ඤාණාහාරය, ප්‍ර‍ත්‍යය වූ පරිදි ප්‍ර‍තිසන්‍ධික්‍ෂණයෙහි අරූතලයන්හි නාමය හා අසංඥාතලයෙහි රූපය හා සෙසු භවයෙහි නාමරූපයන් ද උපදවයි.

 

තවද උපකාරක (රුකුල්දෙන) අර්‍ථයෙන් ද මේ ධර්‍මයෝ ම ආහාර නම් වෙති. කබලිඞ්කාරාභාරය මේ රූපකායයට රුකුල් දෙයි.

 

එසේ ම අරූපි සෙසු ආහාර තුන තම තමා එක්ව යෙදුනු ධර්‍මයන්ට හා තත්සමුට්ඨාන රූපයන්ට රුකුල් දෙයි.

 

තවද ක්‍ර‍මයෙකි :- අධ්‍යාත්මික ධර්‍ම පරම්පරාවට විශේෂ උපකාර හෙයින් කබලිඞ්කාරාභාරය ද, ස්පර්‍ශාද වූ ධර්‍මයෝ තුන් දෙන ද, ආහාර නම් වෙති.

 

ඒ එසේ මැයි. කබලිඞ්කාරාහාරය අනුභව කරන සත්ත්‍වයන් ගේ රූපකායයට විශේෂ උපකාරය වේ. නාම කායයෙහි වූ වේදනාවට ස්පර්‍ශය ද ප්‍ර‍තිසන්‍ධි විඥානයට මනෝසඤේචතනාව ද, එක්ව යෙදුණු නාම-රූපයනට විඥානය ද, එසේ ම විශේෂ උපකාරය වේ.

 

(3) කබලිඞ්කාරාහාරයෙහි රසතෘෂ්ණා මූලයෙන් සෙවීම වන හෙයින් නිකන්ති (තෘෂ්ණාව ම) භය වෙයි. ස්පර්‍ශාහාරයෙහි අරමුණ හා එක්වීම මැ භය වෙයි. මනෝ සඤේචතාහාරයෙහි භවයෙන් භවය ගැළපීම භය වෙයි. විඤ්ඤාණාහාරයෙහි ප්‍ර‍තිසන්‍ධිය මැ භය වේ.

 

(4) කබලිඞ්කාරාහාරය පුත්‍ර‍මාසං උපමායෙන් දත යුතු. (දුර්භික්‍ෂ කාන්තාරයක් එතර කරන පුරුෂයෙක් මළ පුතා ගේ මාංසය තෘෂ්ණාවෙන් තොර ව හුදෙක් කාන්තාරය එතර කිරීම පිණිස ම අනුභව කරන්නා සේ කබලීකාරාහාරය රස තෘෂ්ණාවෙන් තොර ව දේහ යාත්‍රාව පිණිස ම අනුභව කරන කල රසතෘෂ්ණාව නො පවතී.

 

ස්පර්‍ශාහාරය හම ගැසූ ගව දෙනක් සේ දත යුතු. හම නැති දෙන ගිය ගිය තැන මැසි කවුඩු ආදි ප්‍රාණීන් කඩා ගන්නා සේ ස්පර්‍ශ!ය නිසා වේදනාව වේ. භෙද දුක් වශයෙන් හුල් ආදි වශයෙන් දතයුතු.

 

මනෝ සඤ්චේතනාහාරය අගුරු වළක් සේ දත යුතු. (එකොළොස් ගින්නෙන් ඇවිලගත් භවය කිහිරි අඟුරු වළක් සේ දක්නාහට උප්පත්ති භය නො වන්නේ ය)

 

විඤ්ඤාණාහාරය ආයුධ පහරක් බඳු වේ. විඤ්ඤාණය අනතර්‍ථ පමුණුවන හෙයින් සොරකුසේ ද, වේදනාව ශස්ත්‍රයෙන් පැහැරීම මෙන් ද දක්නහුට ප්‍ර‍තිසන්‍ධි භය නො වේ.

 

මෙකී චතුර්විධ ආහාරයන් අතුරින් (ආහාරයෙහි) පටික්කුල සඤ්ඤාව ඉපදවීමට සුදුසු ආහාරය වූ ඛාද්‍ය-භෝජ්‍ය ලෙය්‍ය පෙය්‍ය යන සතර වැදෑරුම් ආහාර විකෘති වූ කබලීකාරාහාරය මැ මේ භාවනාවාරයෙහි ආහාරය යි ගැනේ.

 

විශේෂ :- උපාදාරූප කී තන්හි ආහාරය යි රූප දැක්වූ හෙයින් එයින් වෙන්කොට ගැනීම පිණිස මේ චතුර්විධ ආහාර විකෘතීන් දැක්වූහ. එහෙයින් මැ ඕජා ආහාරය නො ගෙන ගිලින ආහාරයම මෙහිලා “ආහාරය යි” ගැනේ. ඒ ආහාරයෙහි පිළිකුල් ආකාරය ගැනීම් වශයෙන් උපන් සංඥාව ආහාරයෙහි පටික්කුල සංඥා නමු.

 

එය වඩනු කැමති යෝගාවචර තෙමේ පාළියෙහි ආ පරිද්දෙන් කර්‍මස්ථානය මනාව ඉගෙන මෙනෙහි කොට අර්‍ථය වටහා ගෙන එක් පදයකුදු නො වරදවා රහසිගත වැ සිහි ඇති වැ භෝජනාදි ප්‍රභේදගත ඒ සිවු වැදෑරුම් ආහාරයෙහි දස ආකාරයකින් පිළිකුල් බව ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කළ යුතු.

(1) ගමනාගමන් වශයෙන්

(2) ගෙයක් පාසා සෙවීම් වශයෙන්

(3) පරිභෝග වශයෙන්

(4) පිත්තාදීන්ට ආශ්‍ර‍ය වශයෙන්

(5) තැන්පත් වන ස්ථාන වශයෙන්

(6) නො පැසීම් වශයෙන්

(7) පැසීම් වශයෙන්

(8) ප්‍ර‍ධාන ඵල වශයෙන්

(9) අප්‍ර‍ධාන ඵල වශයෙන්

(10)    ගැල්වීම් වශයෙන්

යන මේ දශ ආකාරයෙනි.

 

(1) මෙසේ මහානුභාව ශාසනයෙහි පැවිදි වූ භික්‍ෂුව මුළු රෑ බුද්ධ වචනය ඉගෙන සජ්ඣායනා කිරීමෙන් හෝ මහණදම් පිරීමෙන් ගතකොට, කල් ඇති වැ නැගිට සෑ මලු - බෝ මලු වත් සපයා, පියයුතු, පරිභෝග කළයුතු, පැන් පෙරා තබා ලගිනා ගෙය හැමද සිරුර පිළිදැගුම් කොට අසුනට නැග බොහෝ වේලා කමටහන් මෙනෙහි කොට ඉන් නැඟී පා සිවුරු ගෙන ජන සම්බාධ රහිත උපදි විවේක සැප යැ, සෙවණ හා ජල පහසුව යැ, පිවිතුරු සිහිල් මන වඩන බිම යැ, යන මෙයින් සිත්කලු තපෝ වනය හැරැ පියා ආර්‍ය්‍ය විවේක සුවය නො බලා, අමු සොහොන වෙත මළකුණු සඳහා යන සිවලකු සේ ආහාර පිණිස ගමට මුව අයා යා යුතු ය. මෙසේ යන්නහු ඇඳෙන් හෝ පුටුවෙන් හෝ නැගිටි තැන සිටි පා දූවිලිය ද, සුහුණු - සිකනැල් මල ආදියෙන් ගැවසුණු පා පිස්නද, ඇක්මිය යුතු ය. ඇතැම් දිනෙක මී බෙටි වවුල් බෙටි ආදියෙන් ගැවසි හෙයින් ඇතුළු ගබටත් වඩා පිළිකුල් වූ ඉදිරි පෙදෙස ද, බක මුහුණු - පරෙවි - ආදීන් ගේ වසුරෙන් අතිශය පිළිකුල් වූ යට මාලය ද, සුළඟින් හැලෙන පැරණි පත්‍ර‍ ද, ගිලන් භික්‍ෂූන් ගේ හා ළදරු හෙරණුන් ගේ මළමුත්‍ර‍ - සෙම් - සොටු ආදිය ඇති වැසිකල දිය - මඩ - කසළ ආදියෙන් වැඩියක් කිළිටු වූ හෙයින් අතිශයින් පිළිකුල් පිරිවෙන ද, එයටත් වඩා පිළිකුල් වෙහෙරට වදනා මාර්‍ගය ද, දැක්ක යුතු වෙයි. පිළිවෙළින් බෝධිය හා චෛත්‍යය ද වැඳ විතර්‍ක මාළකයෙහි සිට මුතු රැසක් බඳු චෛත්‍යය ද, මොණර පිල් කලබක් බඳු බෝධිය ද, බ්‍ර‍හ්ම විමානයක් බඳු සෙනසුන ද, පෙරළා බලා මෙබඳු සිත් කලු ප්‍රදේශයට පිටුපා ආහාරය නිසා යා යුතු නො වේ දැයි සලකා විහාරයෙන් නික්ම ගොදුරු ගමට යන මගට වන් භික්‍ෂුව කණුකටු ආදීන් ගැවසීගත් මග ද, වර්‍ෂා කාලය වුව ජල පහරින් බුන් විසම වූ මග ද, බලා අනතුරු වැ ගඩක් වසන්නා සේ අඳනා සිවුර ඇඳ, වණයක් වෙළා බඳනා සේ පටිය බැඳ, ඇටසැකිල්ලක් වසන්නා සේ සිවුර පෙරවැ, බෙහෙත් කබලක් මෑත් කරන්නා සේ පාත්‍ර‍ය ථවිකායෙන් මෑත් කොට, ගම් දොර සමීපයට වදනහු විසින් ඇත්-අස්-ගෙරි-සරක්-මළමිණි-නයි-බලු-කුණු දැක්ක යුතු වේ. හුදෙක් දැක්ක යුතුවා පමණක් නොව නැහැය කඩා යන්නා සේ ඒවායේ දුගඳ ද විඳිය යුතු යැ.

 

අනතුරුවැ ගම්දොරැ සිට දරුණු ඇත් - අස් උවදුරු බැහැර කරලීම සඳහා ග්‍රාම වීථි බැලිය යුතු වේ. මෙසේ පාපිස්නායෙහි පටන් කුණප අවසන් කොට ඇති නොයෙක් පිළිකුල් ද ආහාරය නිසා මැඩිය යුතු ද, දැකිය යුතු ද, ආඝ්‍රාණය කළ යුතු ද, වේ යයි මෙ සේ ‘ඒකාන්තයෙන් ආහාරය පිළිකුලැ’යි ගමන වශයෙන් පිළිකුල් බව සැලකිය යුතු.

 

(2) එසේ ගමනෙහි පිළිකුල ඉවසා ගමට පිවිස සඟල පොරවා කබලක් ගත් යාචකයෙකු සේ ගෙපිළිවෙළින් ගම් වීථියෙහි සැරිය යුතු. වැසි කල වුව පිය තුබු තුබු තැන කෙණ්ඩ තෙක් ගොහොරු මඩෙහි පා එරෙයි. එක් අතකින් සිවුර ඔසවා එක් අතකින් පාත්‍ර‍ය ද ගෙන, ග්‍රීෂ්ම කාලය වුව සැඩ සුළඟින් නැගි පස් - තණ - දුහුලියෙන් ගැවසී ගත් සිරුරින් ද යුතු වැ සැරිය යුතු. ඒ ඒ ගෙදොරට පැමිණ මාළු - මස් - වණ - පිළියල් - දෙවු තැන් ද, කෙළ-සොටු-බලු-හූරු-මළ ආදීන් මිශ්‍ර‍ පණු කැලන් ද, නිල මැස්සන් පිරි අසුචි වළ හා ගවර වළ දැක්ක යුතු ද, මැඩිය යුතු ද වේ. එ සේ වන්නා ඒ මැස්සෝ නැගී පා සිවුරු හිස ආදි තන්හි වසති. ගෙට පිවිසියානට ද කිසි කෙනෙක් දෙති. කිසි කෙනෙක් නො දෙත්. දෙන්නාහු ද, ඇතැම්හු ඊයේ පිසූ පිළුණු දැය ද කුණු වූ ආදිය ද දෙති. ඇතැම්හු නො දී “අරුනු” යැයි යෙති. ඇතැම්හු නො දක්නා සේ සිටිති. කිසි කෙනෙක් ඉවත බලති. කිසි කෙනෙක් ‘මුඩු මහණ යව’යි පරොස්  බස් බෙණෙත්. මෙ සේ ‘දුගියකු සේ ගමෙහි පිඩු සිඟා නික්මුණු මනා යැ’ යි ගම් වැදීමෙහි සිට ඉන් බැහැරවීම තෙක් අහර නිසා මඩ ගොහොරු ආදිය දැකීම, මැඩීම, ඉවසීම ද, කටයුතු ය. පින්වත! ‘එකාන්තයෙන් ආහාරය පිළිකුලැ’ යි මෙ සේ අහර සෙවීම් පිළිකුල සැලකිය යුතු.

 

(3) එ සේ අහර සොයා ගත් මහණ ගමින් පිටත පහසු තැනෙක සුව සේ හිඳැ ඒ ආහාරයෙහි අත තබන්නට පෙර ගරු කටයුතු මහණක්හු හෝ සැලකිය යුතු මිනිසක්හු හෝ දැක ආරාධනා කිරීමට ද පිළිවන් වෙයි. පාත්‍රයෙහි වූ ආහාරයෙහි වළඳනු පිණිස අත එබූ කෙණෙහි ‘පිඩු ගනුව’යි කියා නම් මේ තෙමේ මට දෙන්නේ ඉඳුල් දෝ හෝ යි සැක හා ලැජ්ජා කටයුතු වේ. අහරෙහි අත බහා අණන්නහු ගේ ඇඟිලි දිගේ ඩහදිය ගලා වියළි තද බත ද මොළොක් කරයි. ඇනීමෙන් අහරෙහි පැවැති ශොභාව නැති වූවා වෙයි. නැවත පිඩු කොට මුවෙහි තුබූ කෙණෙහි යටි දත් වංගෙඩියකින් කළ යුතු කිස ද සිදුකෙරෙයි. මෙ සේ ඒ ආහාර බලු ඔරුවෙක ලූ බත් පිඩක් සේ මුඛයෙහි දී දත් නමැති කුල්ලෙන් පොළමින් දිව අග තුබූ පහන් කෙළින් ද, දත් මළයෙන් ද, හනා එකෙණෙහි එහි වූ වර්‍ණ ගන්‍ධාදි ශෝභාව මැඩී බලු කැඳ ඔරුවෙක ලූ බලු වමණයක් සේ අතිශය පිළිකුලට පැමිණේ. එ සේ වුව ද ඇසට නො පෙනෙන හෙයින් ගිළියි. මෙ සේ වැළඳීමේ පිළිකුල සැලකිය යුතු.

 

(4) මෙ සේ වැළඳු අහර ඇතුළත පිවිසි කල අධික වුව උකු මී තෙළින් මිශ්‍ර‍ කලාක් මෙන් ද, සෙම අධික වුව ඇත් බැබිල කොළ යුෂයෙන් හැනුවාක් මෙන් ද, සැරව අධික වුව කුණු වූ මොහොරුයෙන් මිශ්‍ර‍ කළාක් මෙන් ද, ලෙහෙ අධික වුව පඬුයෙන් හැනුවාක් මෙන් ද, අතිශය පිළිකුලට පැමිණේ. මෙ සේ ආසය වශයෙන් පිළිකුල මෙනෙහි කළයුතු.

 

විශේෂ:- බුදු-පසේ බුදු-සක් විත්තන්ට පිත් සෙම් සැරව ලේ ආසය අතුරින් එකෙක් ම වේ. ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශලයෙන් පිළිසිඳ ලද හෙයිනි. මඳ පින් ඇතියනට පෙර කී සේ මේ ආසය සතර මැ වේ. එහෙත් එකක් අධික වේ.

 

(5)   එසේ යම් කිසිවකින් ආශ්‍ර‍ය ලැබ බඩ තුළට වදනා ඒ අහර රන්-රිදී මැණික් ආදි බඳුනෙක තැන්පත් නො වේ. හුදෙක් දසවස් වූවෙක් වළඳ නම් දස වසකින් නො දෙවූ වැසිකිළි වළක් බඳු, විස් වස් වූවෙක් වළඳා නම් විසි වසකින් නො දෙවූ වැසිකිළි වළක් බඳු, තිස් - සතලිස් - පනස් - සැට - සැත්තෑ - අසූ - අනූ - සියක් වස් වූවෙක් වළඳා නම් සියක් වසෙකින් නො දෙවූ වැසිකිළි වළක් බඳු ආමාශයෙහි පිහිටයි. මෙසේ තැන්පත් වන තැන වශයෙනුදු පිළිකුල වැඩිය යුතු.

     

      (6) එසේ මේ ස්ථානගත ආහාරය නො පැසී සිටිනා තාක් එහි මැ ඝනාන්‍ධකාර වූ නා නා කුණප ගඳින් දුර්‍ගන්‍ධ වූ සුළඟ ඇති පෙදෙසෙහි ග්‍රීෂ්ම කාලයෙහි නො කල් වැසි වට කල සැඩොල් ගම් දොර, ගවර වළැ හුණු තණපත් - පැදුරු මාළු - නයිකුණු - බලුකුණු - මිනීකුණු - ආදිය ඉර අව්වෙන් තැවී පෙණ බුබුළුයෙන් ගැවසී සිටුනා සේ ඝනාන්‍ධකාර වූ නා නා කුණු ගඳින් දුර්‍ගන්‍ධ වූ ප්‍රදේශයෙහි (පක්‍වාසයෙහි) අද ද ඊයේ ද පෙරේදා ද අනුභව කළ සියල්ල එක් වැ සෙම් පටලයෙන් වෙලී කයෙහි ජඨරාග්නියෙන් තැවීමෙන් නැගුණු පෙණ බුබුලින් ගැවසී ඉතා පිළිකුල් බවට පැමිණ සිටීයැ යි මෙසේ නො පැසීම් වශයෙන් පිළිකුල් වැඩිය යුතු.

     

(7) එසේ එහි කායාග්නියෙන් පැසුණු ඒ ආහාරය රන්-රිදී ධාතු ආදීන් සේ රන්-රිදී බවට නො පැමිණේ. හුදෙක් පෙණ බුබුළු නගමින් ඇඹරුම් ගලෙක අඹරා. නළයෙක පිරූ පඬුවන් මැටි සේ මළ බවට පැමිණ පක්වාසය ද, මුත්‍ර‍බවට පැමිණ මුත්‍රාසය ද පුරවයි. මෙසේ පැසීම් වශයෙන් පිළිකුල් බව මෙනෙහි කළයුතු.

 

(8) එ සේ පැසවනු ලබනුයේ ද, කෙස්-ලොම්-නිය-දත් ආදි නොයෙක් කුණප නිපදවයි. නො පැසෙන්නේ දද-කැසිලි-කුෂ්ට-පාණ්ඩු-ක්‍ෂය-කාශ-අතීසාරාදි සිය ගණන් රෝග උපදවයි. මෙසේ ආහාරයෙහි ඵල වශයෙන් පිළිකුල් සේ පස් විකිය යුතු.

 

(9) මේ ආහාරය කන කල එක් දොරකින් ඇතුළට වැද පිටත වැගිරෙන කල ඇසින් අක්‍ෂි ගූථ නම් වූ කබ ය, කනින් කර්‍ණගුථ නම් මළ ය, යනාදි ප්‍ර‍කාරයෙන් නොයෙක් දොරින් අනේකප්‍ර‍කාර අසුචි භාවයෙන් වැගිරෙයි. වළඳනා කල බොහෝ දෙනා පිරිවරා ද අනුභව කෙරේ. වැගිරෙන කල මල-මුත්‍ර‍ බවට පැමිණියේ හුදෙකලාව පහකෙරේ. ඒ වළඳනා කල පළමු දවස තුටුපහටු වෙයි. ඔද වඩනේ ද වෙයි. ප්‍රීති වූයේ ද වෙයි. දෙ වන දවස් පහකරනුයේ අතින් වැසූ නැහැ ඇති වැ පිළිකුලින් මුහුණ හකුළුවා මකුවූයේ (අමනාප වූයේ) වෙයි. පළමු දිනයෙහි එහි ආශාවෙන් ගිජු වැ ගැට ගැසූ සේ ඇලී තෘෂ්ණායෙන් මුසපත් වැ අනුභව කොට දෙවන දවස්හි එක් රැයක් විසීමෙන් නො ඇලී දුක් වෙමින් පිළිකුල් කරමින් පහකරයි.

 

එහෙයින් ම:-

“අහර පැන් කැවිලි ද - මා ඇඟි නන් බොජුන් හා

එක මුව දොරින් පිවිසි - නව දොරකින් බැහැර වේ.”

 

“අහර පැන් කැවිලි ද - මා ඇඟි නන් බොජුන් හා

සපිරිවරින් වළඳා - සැඟවේ බැහැර කරනේ.”

 

“අහර පැන් කැවිලි ද - මා ඇඟි නන් බොජුන් හා

සතුටු වැ හිඳ වළඳනේ - නික්මවනු පිළිකුල් වේ.”

 

“අහර පැන් කැවිලි ද - මා ඇඟි නන් බොජුන් හා

එක ම රැයක් ගෙවීමෙන් - කුණුවේ ඒ සියල්ලම”

 

මෙසේ බැහැර වන පරිදි පිළිකුල් වැඩිය යුතු.

 

(10) මේ අහර වළඳනා කල අත් - තොල් - දිව තලු ආදි තන්හි තැවරී එයින් පිළිකුලට පැමිණ නැවත නැවත සෝධා ද ගඳ හරණා පිණිස නැවත නැවත දෙවිය යුතු වේ. වළඳුයේ ද බත පැසෙන කල බොල් - ඇහි - කුඩු ආදිය ඉතිරී සැළි මුව හා පියන් ගල්වන්නා සේ මුළු සිරුරෙහි පැතිරැ පවත්නා ජඨරාග්නියෙන් පෙණ දමමින් පැසී උතුරා යන්නේ දතෙහි දත් මල බැවින් ද, දිව - තලු ආදියෙහි කෙළ - සෙම් ආදි බැවින් ද, ඇස් - කන් - නාසා - අධොමාර්‍ගාදියෙහි කබ - කළාඳුරු - සොටු - මළ - මූ බැවින් ද ගල්වයි. එයින් වැකුණු ඒ ඒ ද්වාරයෝ දිනපතා දොවනු ලබන්නාහු ද පිරිසිදු ද මනහර ද නො වෙති. ඉන් සමහර තැනක් දොවා අත නැවත ද ජලයෙන් දෙවිය යුතු වේ. සමහර තැනක් දොවා ගඳ හරනා පිණිස දෙතුන් වරක් ගොමින් හෝ මැටියෙන් හෝ සුවඳ සුන්නෙන් හෝ දොවා ද පිළිකුල හැරිය යුතු වේ යයි (මෙසේ) ගැල්වීමෙන් පිළිකුල මෙනෙහි කළ යුතු.

 

මෙසේ දස ආකාරයෙන් පිළිකුල මෙනෙහි කරන්නාහට තර්‍කයෙන් විතර්‍කයෙන් පහරන ලද්දාක් මෙන් කරන්නහුට පිළිකුල් වශයෙන් කබලිඞ්කාරාහාරය ප්‍ර‍කට වෙයි. හෙතෙමේ ඒ නිමිත්ත නැවත නැවත මෙනෙහි කරයි. වඩයි.  බහුල වශයෙන් වඩයි. එසේ කරන්නා වූ ඒ යෝගාවචරයා ගේ නීවරණයෝ පහවෙති. කෙලෙස් මුවහ වේ. කබලිඞ්කාරාහාරය පිළිකුල් හෙයින් අර්පණාවට නො පැමිණෙතුදු උපචාර සමාධියෙන් සිත එකඟ වෙයි. මෙහි පිළිකුල් බව ගැනීම් වශයෙන් සංඥාව ප්‍ර‍කට වෙයි. එහෙයින් ම මේ කමටහන ආහාරයෙහි පටික්කූල සඤ්ඤා නම් වේ.

 

මේ ආහාරයෙහි පටික්කූල සඤ්ඤායෙන් යුක්ත යෝගාවචර භික්‍ෂුවගේ සිත රස තෘෂ්ණාවෙන් හැකිළෙයි. පෙරලෙයි. (පෙරලී වැටෙයි) හෙතෙම කාන්තාරය එතර කරනු සඳහා පුත්‍ර‍ මාංස කන්නකු සේ මද නැතිවැ හුදෙක් දුක් ගෙවීම සඳහා ආහාරය වළඳයි. එකල කබලිඞ්කාරාහාරය පිරිසිඳ  දැනීම් වශයෙන් අනායාසයෙන් මැ පඤ්චකාම ගුණ පරිඥා මුඛයෙන් රූපස්කන්‍ධය පිරිසිඳ දැනීම වෙයි. හෙතෙම පඤ්චකාම ගුණ පරිඥා මුඛයෙන් රූපස්කන්‍ධය පිරිසිඳ දනී. අපරිපක්‍වාදි ප්‍ර‍තිකුල භාව වශයෙන් ඔහු ගේ කායගතාසති භාවනාව ද පිරීමට යෙයි. ඉන් පිළිකුල් බව සැලකීමෙන් අසුභ භාවනාවට අනුලොම් වූ ප්‍ර‍තිපත්තියට පැමිණියේ වෙයි. මේ ප්‍ර‍තිපත්තිය ඉහාත්මයෙහි නිර්‍වාණය අවසන් කොට ඇත්තේ වෙයි. මේ භාවනාව වඩා ඉපදවූ උපචාරධ්‍යානය පාදකකොට විදර්‍ශනා වඩා සතර මාර්‍ග ඵලයන්ට පැමිණ නිවන් අවබෝධ කළ හැකි වේ. ඉහාත්මයෙහි එසේ නොවී නම් සුගත පරාණය වේ.

 

මේ ආහාරයෙහි පටික්කුල සඤ්ඤා භාවනාවේ

විස්තර කථාව ය.

 


චතුර්ධාතු ව්‍යවස්ථානය (2)

 

“ආහාරයෙහි ප්‍ර‍තිකූල සංඥාවට” අනතුරු වැ චතුර්ධාතු ව්‍යවස්ථානය පිළිබඳ භාවනා නිර්දේශය පැමිණියේ ය.

 

විශේෂ - “එකං වචත්‍ථානන්ති එවං උද්දිට්ඨස්ස චතුධාතු වවත්‍ථානස්ස භාවනා නිද්දෙසො අනුප්පත්තො” යි මේ පාඨයෙහි “ඒකව්‍යවස්ථාන යයි කියා නැවත චතුර්ධාතු ව්‍යවස්ථාන යයි ද, උද්දේස යයි කියා නැවත නිර්‍දෙශ ය”යි කීම ද, ව්‍යාකුල සේ පැනෙන කිහිප තැනක් ටීකාහි[369] ආ සේ පළමු වැ දැක්වීම සුඛාවබොධය පිණිස වේ.

 

ඒ මෙසේ යි:

(1) ප්‍ර‍ශ්නය :- ‘එකං වවත්‍ථානං’යි කියා ‘චතුධාතු වවත්‍ථානස්ස’යි කීයේ කවර හෙයින් ද?

 

පිළිතුර : ‘චතුධාතු වවත්‍ථානස්ස’ යි විෂය භේදයෙන් පෘථිවි ආදි සතරක් වුව ද ව්‍යවස්ථානයෙන් භේදයක් නැති වැ සාමාන්‍යයෙන් ගෙන ඒක ව්‍යවස්ථානයැයි නො වෙනස් සේ කියන ලදී. තවද පූර්‍වභාගයෙහි (පරිකර්‍ම අවස්ථායෙහි) පඨවි ආදි විෂය භේදය ඇතද, අර්‍ථ සිද්ධියෙහි (උපචාර අවස්ථායෙහි) එකක් මැ විෂයකොට ඇති බැවින් ද “එකං වවත්‍ථානං”යි කීහු.

 

විස්තර :- දෙතිස් කුණප කොට්ඨාසයෙහි පිළිකුල් බව් සැලකීම් වශයෙන් පරිකර්‍ම භාවනා කරන යෝගියාහට ඒ අවස්ථායෙහි වෙන වෙනමැ ඒ ඒ කොටස්හි මනසිකාරය පැවැති අර්‍ථ සිද්ධි සංඛ්‍යාත උපචාර අවස්ථායෙහි එකවට එක මැ කොට්ඨාසයෙකැ යි මනසිකාරය පවත්නා සේ (මේ ධාතු මනසිකාරයෙහි ද) ධාතු වශයෙන් වෙන වෙන මැ පූර්‍ව භාගයෙහි (පරිකර්‍ම අවස්ථායෙහි) මනසිකාරය පැවතී අර්‍ථ සිද්ධියෙහි (උපචාර අවස්ථායෙහි) එක ම ධාතුවෙක මනසිකාරය පවත්නා හෙයින් “එකං වවත්‍ථානං”යි කීහු.

 

ද්වත්තිංසාකාරයෙහි ‘කේසා යැ’ යනාදි ප්‍ර‍ඥප්තිය ඉක්ම වූ තැන් පටන් පිළිකුල් වශයෙන් සියලු කොට්ඨාසයෙහි මැ නො වෙනස් වැ මනසිකාරය පැවතිය යුතු. මෙහි වනාහි එසේ නොව පඨවි ආදි ප්‍ර‍ඥප්තිය ඉක්ම වූ තැන් සිට ස්වභාව-කෘත්‍ය-ලක්‍ෂණ වශයෙන් ධාතු මෙනෙහි කළ යුතු වේ. ධාතු භාව සාමාන්‍යයෙන් නොවේ.

 

එහෙයින් “වවත්‍ථානත්ති සභාවූපලක්ඛණ වසෙන සන්තිට්ඨානං” යි ‘ව්‍යවස්ථානය නම් ස්වභාව උපලක්ෂණ වශයෙන් සනිටුහන් කිරීමය’යි කීහු. සතර මහා භූතයන් ගේ කැකුළු බව් ආදි ස්වකීය ලක්ෂණය සැලකීම් වශයෙන් සනිටුහන් කිරීම ව්‍යවස්ථාන නම.

 

(මේ විස්තරයෙන් කිම? මේ චතුර්ධාතු ව්‍යවස්ථානය සෙසු එකුන් සාලිස් (39) කර්‍මස්ථානයන් කෙරෙන් වෙන් වූ හුදු කර්‍මස්ථානයකැ යි දැක්වීම පිණිස “එකං වවත්‍ථානං”යි කීහු.)

 

(2) ප්‍ර‍ශ්න :- “උද්දිට්ඨස්ස නිද්දෙසො”යි කුමක් හෙයින් කීයේ ද?

පිළිතුර :- උද්දේසය මුඛ මාත්‍ර‍යක් දැක්වීම ය. නිද්දේසය විස්තර ක්‍ර‍මය පිණිස පවත්නේ ය. පැමිණි බර අවශ්‍යයෙන් ඉසිලිය යුතු වාක් මෙන් උද්දේස වශයෙන් දැක්වූ අර්‍ථය අවශ්‍යයෙන් විස්තර කටයුතු හෙයින් “එක වවත්‍ථානං”යී නාම මාත්‍රයෙන් දැක්වුව විස්තර කිරීමට මේ අවස්ථාව බව දැක්වීම සඳහා යැ. මෘදුවූ ද, මධ්‍යම වූ ද, ප්‍රාඥයන් ගේ බහුල බැවිනි.

 

(3) ප්‍ර‍ශ්න:- “චතුධාතු වවත්‍ථානස්ස භාවනා නිද්දෙසො” යී ‘චතුධාතු ව්‍යවස්ථානයේ භාවනා නිර්‍දෙශය’යි කුමක් හෙයින් කීයේ ද චතුධාතු ව්‍යවස්ථානය මැ භාවනා නො වේ ද?

පිළිතුර:- සැබව. භාවනාවෙක් මැ යි එහෙත් වරක් පැවැත්වීම ව්‍යවස්ථානය යැ. නැවත නැවත පැවැත්වීම භාවනා යැ. මෙ සේ වාග් භෙදය සඳහා කියන ලදී.

 

(4) ප්‍ර‍ශ්න:- භාවනාව වාක්ගෝචරය ඉක්ම පවතී. එ හෙයින් භාවනා යි විස්තර කිරීම කෙ සේ යෙදේ ද?

පිළිතුර:- භාවනාර්‍ථයෙන් මැ භාවනා ව්‍යවහාරය වන හෙයින් වරද නැති. කර්‍මස්ථානයන් ගේ පරිග්‍ර‍හය භාවනාර්‍ථ නම් වන්නේ ය. එය මෙහිලා භාවනා යි අභිප්‍රේත යැ.

 

‘සන්නිට්ඨානං’ යනු ප්‍ර‍ඥාවෙන් විනිශ්චය කිරීම යි.

 

විශේෂ: පඨවි ආදි සතර ධාතුන් ගේ යථොක්ත විනිශ්චය “චතුධාතු වවත්‍ථාන” නම් වේ. එය ධම්මසඞ්ගණි පද භාජනියෙහි කී. ‘විතක්කාදි’ ධර්‍මයන්ගේ විනිශ්චයෙක් හෝ ‘යෙවාපනක’ නාමයෙන් කී “ඡන්‍දාදි” ධර්‍මයන් ගේ විනිශ්චයෙක් හෝ නො වේ. පඨවි ආදි සතර ධාතුන් අරභයා පැවැති භාවනා මනසිකාරය ධාතු කර්‍මස්ථානය යැ, චතුර්‍ධාතු ව්‍යවස්ථාන යැ. යනු එකම අර්‍ථවත් පදයෝ යි. එහෙත් (යොගාවචරයන් ගේ) කටයුතු හෙයින් කර්‍මයයි ද, යෝගාවචරයන් ගේ සුඛ විශේෂයට කාරණ හෙයින් ස්ථානයයි ද, ගෙන කර්‍මස්ථානය යි කීහු. එහෙයින් ස්වභාව ලක්‍ෂණ වශයෙන් පැවැති යෝගකර්‍මය චතුර්‍ධාතු ව්‍යවස්ථාන කර්‍මස්ථානය යි දතයුතු.

 

මේ කර්‍මස්ථානය පඨවි කසිණාදිය මෙන් ප්‍ර‍ඥාප්තිය (නාම මාත්‍ර‍ය) සැලකීම් වශයෙන් හෝ නීල කසිණාදිය මෙන් වර්‍ණමාත්‍ර‍ය සැලකීම් වශයෙන් හෝ විදර්‍ශනා කර්‍මස්ථානය මෙන් සංස්කාරයන් ගේ අනිත්‍ය බව ආදි සාමාන්‍ය ලක්‍ෂණ සැලකීම් වශයෙන් හෝ පවත්නේ නො වෙයි. කැකුළු බව ආදි ස්වකීය ලක්‍ෂණය සැලකීම් වශයෙන් පවත්නේ ය.

 

විස්තර :- මේ චතුර්‍ධාතු ව්‍යවස්ථානය මහා සතිපට්ඨානයෙහි[370] සංක්‍ෂේපයෙන් ද, මහා හත්‍ථිපදොපම[371] මහාරාහුලොවාද[372] සූත්‍ර‍යන්හි හා ධාතු විභඞ්ග සූත්‍රයෙහි[373] විස්තර වශයෙන් ද ආයේ ය.

 

ධාතු විභඞ්ගාදියෙහි[374] නාති සංඛේප නාති විස්තර ක්‍ර‍මයෙන් ආ හෙයින් නාති සංඛේප විස්තර වශයෙන් තුන්වැනි ප්‍ර‍කාරයක් ද කිවමනා වුව ද, එහි ද අධ්‍යාත්මික ධාතුන් ප්‍රභේද වශයෙන් නිරවශේෂකොට ද, බාහිර ධාතුන් සාවශෙෂ කොට ද දැක්වීමෙන් සංඛේප විස්තර ක්‍ර‍ම දෙක මැ එහි දැක්වූ හෙයින් ද්විධා යි කීහ.

 

මහා සතිපට්ඨානයෙහි තික්ඛපඤ්ඤ ධාතුකම්මට්ඨානිකයාගේ වශයෙන් විස්තර වශයෙන් ද කීහ යි දත යුතු.

 

සතිපට්ඨානයෙහි අර්‍ථයෙන් උපමානය පිරිවරකොට දේශනාව ආයේ ය. උපමානය ද උපමේය යා ගේ අර්‍ථය ප්‍ර‍කාශ කිරීම වන හෙයින් උපමානය දක්වා උපමේය ය ප්‍ර‍කාශ කරනු පිණිස-

 

සෙය්‍යථාපි භික්ඛවෙ දක්ඛො ගෝඝාතාකො වා ගොඝාත කන්තෙවාසී වා ගාවිං වධිත්‍වා චාතුම්මහාපථෙ ඛිලසො පටි විභජත්‍වා නිසින්තො අස්ස, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං යථා ඨිතං යථා පණිහිතං ධාතුසො පච්චවෙක්ඛති. අත්‍ථි ඉමසමිං කායෙ පඨවි ධාතු අපො ධාතු තෙජො ධාතු වායො ධාතුති[375]

 

‘මහණෙනි! දක්‍ෂ වූ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතවැයියෙක් හෝ ගව දෙනක මරා සතර මංසන්‍ධියෙක (විකිණීම පිණිස) කොටස් වශයෙන් බෙදා හුන්නාක් මෙන් යම්කිසි යෝගාවචර භික්‍ෂුවෙක් සිටිවනම සිටි, පිහිටි සේ පිහිටි මේ ශරීරය, මෙහි පෘථිවි ධාතු ඇත, ආපෝධාතු ඇත. තේජෝ ධාතු ඇත, වායෝ ධාතු ඇතැ යි කියා ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නේ ය.’

 

විශේෂ:- මේ ධාතු මනසිකාරයෙහි සත්ත්‍ව ශුන්‍යත්‍වය දක්වනු පිණිස ධාතු වශයෙන් ප්‍ර‍කාශ කරන ලදී.

 

මහා සතිපට්ඨානයෙහි ඖදාරික හෙයින් මනාව ප්‍ර‍කට හෙයින් ද, සමහර විනෙය ජන කෙනෙකුන් ගේ චරිතානුකූල හෙයින් ද, මහාභුත වශයෙන් ද, කර්මස්ථානය දක්වන ලදී.

 

විස්තර:- පඨවි ධාතු කර්‍කශ භාවය ස්වභාව කොට ඇති හෙයින් පඨවි නම් වූයේ - තමාගේ ස්වභාව දරන්නේ ය. තමා ගේ ස්වභාව උසුලන්නේ ය, ආත්මයෙන් ශුන්‍ය ය, සම්ත්‍වයෙක් නොවන්නේ ය, යන අර්‍ථයෙන් ධාතු නම් වී මෙ සේ පඨවිය මැ ධාතු වූවා පඨවි ධාතු නම ආපාදිය ද මෙසේ මැයි.

 

තවද පඨවි ධාතු එක් කලාපයක උපදනා සහජාත රූපයන් ගේ පිහිටීමට උපකාර වූ ද්‍ර‍ව්‍ය යි. එසේ ම එම රූපයන් ගේ වෙන් නොවීම හෝ සර්‍වප්‍ර‍කාරයෙන් බැඳීම කරන්නා වූ ද්‍ර‍ව්‍යය ආපො ධාතු යැ. එම රූපයන් ගේ පරිපාකය (මිහිකිරීම) කරන්නා වූ ද්‍ර‍ව්‍යය තේජෝ ධාතු යැ එම ද්‍ර‍වයන් ගේ පිරවීම කරන්නා වූ ද්‍ර‍ව්‍යය වායො ධාතු යි. 

 

මෙ සේ සතර මහා භුතයන් ගේ සංක්‍ෂේපනේ භාවර්‍ථය දත යුතු. විස්තරාර්‍ථ මතු පළ වෙයි.

 

මෙ දේ මහාසතිපඨානයෙහි තියුණු නුවණ ඇති ධාතු කර්‍මස්ථානය වඩනු කැමති යෝගාවචරයා ගේ වශයෙන් සංක්‍ෂේපයෙන් ද, එහි නො තියුණු නුවණ ඇත්තහු ගේ වශයෙන් විස්තර ක්‍ර‍මය ද වදාළ සේක.

 

විස්තර විභාගය:- තැල්ල - වලිග - මොල්ලි - කුර - අං-ආදි අවයවයන්ගෙන් යුක්ත වූ ගවදෙන ඇට-මස් ආදි අවයව සංඥාව ද වේය යි දන්නා දක්‍ෂ වූ ගවයන් මරන්නකු හෝ ගවයන් මරන්නහු ගේ (බත් වැටුපින් ජීවත් වන) අතවැස්සකු හෝ ගවදෙන මරා (විනිවිද සතර දිගට ගිය මාර්‍ග සතරක් එක් වූ මධ්‍යස්ථානය යි කියන ලද) සතර මංසන්‍ධියෙක කොටස් වශයෙන් බෙදා විකිණීමට හුන්නා සේ මේ සස්නෙහි යම්කිසි මහණෙක් තෙමේ යාම්-ඉඳීම්-සිටීම්-නිදීම් යන සතර ඉරියව්වෙන් යම්කිසි ඉරියව්වකින් පිහිටි පරිද්දෙන් පිහිටියාවූ ද, නොහොත් කාය සංඛ්‍යාත රූප ධර්‍මයන් ගේ ඒ ඒ ක්‍ෂණයෙහි ස්වකීය කෘත්‍යය වශයෙන් සිටියාවූ ද, පථ්‍යය ධර්‍මයන් ගේ කෘත්‍ය වශයෙන් ඒ ඒ ප්‍ර‍ත්‍යයන් විසින් නොයෙක් ප්‍ර‍කාරයෙන් පිහිටුවන ලද්දාවූ හෝ මේ ශරීරය ධාතු වශයෙන් වෙන් වෙන්කොට ප්‍ර‍ඥා නමැති ඇසින් නැවත නැවත විනිවිද බලන්නේ ය.

 

කෙසේ ද යත්:- “මාගේ මේ ශරීරයෙහි පඨවි ධාතු ය, ආපෝ ධාතු ය, තේජෝ ධාතු ය, වායෝ ධාතු ය යන සතර මහා භුතයන් ඇතැ යි” මෙ සේ ධාතු වශයෙන් බලන්නේ ය.

 

මින් කුමක් කීයේ ද යත්:- මස් වැඩීම සඳහා කුඩු-බත්, ‘කලු ඇට, ආදිය දී ගවදෙන පෝෂණය කරන්නාවූ ද, වධක ස්ථානයට ගෙන යන්නාවූ ද, එහි බැඳ තබන්නාවූ ද, මරන්නාවූ ද, මැරු දෙන දක්නාවූ ද, ඒ ගෝඝාතකයාහට එතෙක් එකකිනිදු දෙන යැ යන සංඥා අතුරුදහන් නො වේ. යම් යම් අඞ්ග ප්‍ර‍ත්‍යඞ්ගයන් නිසා දෙන යැ යන සංඥාව වේ ද එතෙකින් ගවදෙන යැ යන සංඥාව නො නැසුන හෙයිනි.

 

ඇට සැකිල්ලෙන් මස් වෙන් කොට කපා බෙදා දුන්නහුට ගවදෙන යැ’ යන සංඥාව අතුරුදහන් වැ මාංස යැ යන සංඥාව පවතීද එ කල ‘මම ගවදෙන විකුණමි’ “මොවුන් ගව දෙන ගෙන යති”යි මෙ බඳු අදහසෙක් නො වේ. හුදෙක් “මම මස් විකුණමි” මොවුන් මස් ගෙනයති”යි මෙ බඳු අදහසෙක් වේ මැයි.

 

එසේ මැ පූර්‍වයෙහි ගිහි ව සිට පැවිදි වුව ද, සිටි පරිද්දෙන් සිටියාවූ ද, පිහිටි පරිදි පිහිටියාවූ ද, මේ ශරීරය රූප සන්තති සමූහ කෘත්‍යයන් ගේ ඝනය වෙන් කොට ධාතු වශයෙන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා නොකරන්නාවූ ඒ යෝගාවචර භික්‍ෂුවට ඒ තාක් සත්ත්‍ව යැ, පුද්ගල යැ, වන සංඥාව අතුරුදහන් නො වේ. ධාතු වශයෙන් වෙන් කොට ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නහුට තත් වූ පරිදි ඝන විනිර්‍භොගය සම්පාදනය වන හෙයින් මම යැ, මාගේ යැ’යි පැවැති ආත්ම දෘෂ්ටි වශයෙන් ගන්නා ලද සත්ත්‍ව සංඥාව ද, අතුරුදහන් වන්නී ය. ව්‍යවහාර වශයෙන් පැවැති සත්ත්‍ව සංඥාව ද, අතුරුදහන් වන්නී ය. මෙසේ උපමානාර්‍ථයෙන් උපමෙයාර්‍ථය ද ඒකාන්තයෙන් ගැළපෙන්නේ ය. ධාතු වශයෙන් සිත පිහිටන්නේ ය. එහෙයින් මැ බුදුහු “සෙය්‍යථාපි” යනාදිය වදාළ හ.

 

මෙසේ ධාතු කර්‍මස්ථානිකයා ගේ වශයෙන් සංක්‍ෂේපයෙන් ආ තැන් දක්වා දැන් විස්තර වශයෙන් ආ තැන් දක්වනු සඳහා මහා හත්‍ථිපදොපම සූත්‍රයෙහි ආ -

 

(1) කතමාචාවුසො අජ්ඣත්තිකා පඨවි ධාතු, යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛලං ඛරිගතං උපාදින්තං සෙය්‍යථීදං කෙසා -පෙ- කරීසං, යංචා පනඤ්ඤම්පි කිඤ්චී අජ්ඣත්තං පච්චත්තං කක්ඛලං ඛරිගතං උපාදින්තං, අයං වුච්චති ආවුසො අජ්ඣතතිකා පඨවි ධාතු

 

“ඇවැත්නි! අජ්ඣත්තික පඨවි ධාතු කවරේ ද තමා සන්තක වූ තමා පිළිබඳ වූ යම් කැකුළු බවෙක් වේ ද රළු බවෙක් වේ ද මම යැ මාගේ යැ යි තෘෂ්ණායෙන් ළංකොට ගත්තේ වේ ද නොහොත් තද බැවින් සෙසු සහජාත භූතයන්ට පිහිට වේ ද එය පඨවි ධාතුව ය. ඒ වූකලි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුලු, වකුගඩු, හදවත, අක්මා දලබු, බඩදිව, පපුව, අතුණු, අතුණු බහන්, නොපැසුණු අහර, පැසුණු අහර, (හා ඇට මිදුලුයෙන්, සංග්‍ර‍හ වූ) හිස් මුල, සමග මේ විසිකොටස ද, සෙසුවූ ද, යම්කිසි තමා සතු වූද, තමා පිළිබඳ වූ ද, කැකුළු වූ රළු වූ මම යැ, මාගේ යැ’යි ගන්නා ලද තද බවැ යි කියූ පෘථිවි ධාතුවක් හෝ සෙසු සසම්භාර ත්‍රිවිධ භූතයන්ට ඇතුළත් වූ පෘථිවි ධාතුවෙක් වේ ද මේ අධ්‍යාත්මික පෘථිවි ධාතු යැ”

 

(2) කතමාචාවුසො අජ්ඣත්තිකා ආපොධාතු, යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්තං, සෙය්‍යථීදං පිත්තං -පෙ- මුත්තං යං වාපනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣතං පච්චත්තං ආපොගතං උපාදින්තං, අයං වුච්චතාවුසො අජ්ඣතතිකා ආපො ධාතු[376]

 

“ඇවැත්නි! අජ්ඣත්තික ආපො ධාතුව කිම? පිත, සෙම, පූයා, ලේ, ඩහදිය, මේදතෙල, කඳුළු, වුරුණු තෙල, කෙල, මුකුණු, සඳ මිදුලු, මූත්‍ර‍ය යන දොළොස් කොටස් හා අනෙකුදු යම්කිසි තමා සතු වූ ද, තමා පිළිබඳ වූ ද, නොයෙක් ප්‍ර‍කාර ආපො ධාතුවෙහි ඇතුළත් වූ මම යැ මාගේ යැ යි තෘෂ්ණාවෙන් ළංකොට ගන්නා ලද්දා වූ යම් ආපෝ ධාතු කෙනෙක් වෙද් ද? ඇවැත්නි! මේ අජ්ඣත්තික ආපො ධාතු යැ.

 

(3) කතමාචාවුසො අජ්ඣත්තිකා තේජෝධාතු, යං අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්තං, සෙය්‍යථීදං යෙනච සන්තප්පති. යෙනච ජරීයති. යෙනච පරිඩය්හති. යෙන ච අසිත පීත ඛායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති. යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්තං, අයං වුච්චතාවුසො අජ්ඣත්තිකා තෙජො ධාතු[377]

 

“ඇවැත්නි! අජ්ඣත්තික ආපො ධාතුව කිම? තමා සතන්හි වූ ද තමා පිළිබඳ වූ ද, යම් තේජෝ ධාතුවෙක් නොයෙක් ප්‍ර‍කාර තේජෝ ධාතුවෙහි ඇතුළත් වේ ද, මම යැ මාගේ යැ යි තෘෂ්ණාවෙන් ඇතුළත් කොට ගන්නා ලද්දේ ද, යමක් කරණ කොටගෙන ජ්වරාදි වශයෙන් තැවේ ද, යමක් කරණ කොට ගෙන දිරීමට යේ ද, අතිශයින් දාහයට යේ ද, යමක් කරණ කොට කන ලද-බොන ලද- කඩා කන ලද- රස විඳින ලද - සියලු ආහාරය මනාව දිරීමට යේ ද, අනෙකුදු නොයෙක් ප්‍ර‍කාර තේජෝ ධාතුවෙහි ඇතුළත් වූ යම් තේජෝ ධාතුවෙක් වේ ද, මේ අජ්ඣත්තික තේජෝ ධාතු යැ.

 

(4) කතමාචාවුසො අජ්ඣත්තිකා වායොධාතු, යං අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්තං, සෙය්‍යථිදං, උද්ධඞ්ගමා වාතා, අධොගමා වාතා, කුච්ඡිසයා වාතා, කොට්ඨාසයා වාතා, අඞ්ගමගානු සරිනො වාතා, අස්සාසො පස්සාසො, ඉතිවා යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣතං පච්චතං වායො වායො ගතං උපාදින්තං, අයං වුච්චතාවුසො අජ්ඣත්තිකා වායො ධාතු[378]

 

“ඇවැත්නි! අධ්‍යාත්මික වායෝ ධාතු කවරේ ද? තමා සතන්හි වූ ද, තමා පිළිබඳ වූ ද, මමයැ, මාගේ යැ’යි තෘෂ්ණාවෙන් ළංකොට ගන්නා ලද්දා වූ ද, නොයෙක් ප්‍ර‍කාර වායෝ ධාතුවෙහි ඇතුළත් වූ යම් වායෝ ධාතුවෙක් වේ ද, ඒ වායෝ ධාතු නම් කවරද උඩට නගන වාතය, පහතට හෙළන වාතය, කුක්‍ෂිය ආශ්‍ර‍ය කරන වාතය, බඩවැල ඇතුළ පවත්නා වාතය, අඞ්ග ප්‍ර‍ත්‍යඞ්ග අනුවැ යන වාතය, ආශ්වාස වාතය, ප්‍ර‍ශ්වාස වාතයැ, කියා හෝ අනෙකුදු නොයෙක් ප්‍ර‍කාර වායුවෙහි ඇතුළත් වූ යම්කිසි වායො ධාතුවෙක් වේද? මේ යැ අධ්‍යාත්මික වායෝ ධාතු නම්”

 

මෙ සේ ඉතා තියුණු නො වූ නුවණ ඇති ධාතු කර්‍මස්ථානිකයා ගේ වශයෙන් මෙහි විස්තර විසින් ආයේ ය. මහා රාහුලවාදයෙහි ද[379] ධාතු විභඞ්ගකයෙහි[380] මෙසේ මැ විස්තර විසින් ආයේ ය.

 

(පෙර කී දේශනා පාඨයන්හි ගැඹුරු තැන් මෙහි ලා වර්‍ණනා කෙරේ.)

 

(1) අජ්ඣත්තං (2) පච්චත්තං :- මේ දෙපදය මැ තමා ශරීරයට ඇතුළත් ධර්‍මයන් මැ කියා.

 

ඒ ඒ සත්ත්‍ව සන්තතියෙහි උපන් ‘ආත්ම යැ’යි ගනු ලබන ස්ව සන්තානයෙහි ඇතුළත් හෙයින් ‘ආත්ම ය’යි ගත යුතු බවට පැමිණි හෙයිනි.

 

නිදර්‍ශන :- ලෙව්හි ස්ත්‍රීන් කෙරෙහි පැවැති කථාව “අධිස්ත්‍රියැ”යි කියන්නා සේ (1) තමා කෙරෙහි පැවැති දැය (අධි+අත්ත) අජ්ඣත්තයැ යි කීහ. (2) තමා කෙරෙහි පැවැති දෙය (පතී+අත්ත) පච්චත්තං යි කීහ. මේ යැ විශේෂ යැ.

 

කක්ඛලං = තද වූ (සහජාත ධර්‍මයන්ගේ පිහිටීමට උපකාර වනුයේ තද හෙයිනි.)

 

ඛරිගතං = රළු වූ (රළු බව ඇති දැයෙහි ඇතුළත් වූ)

 

මෙහි ‘කක්ඛලං’යි ලක්‍ෂණ වශයෙන් ද, ‘ඛරිගතං’යි ආකාර වශයෙන් ද කීහ. රළු බව ඇති දැය පරුෂාකාරයෙන් මැ වැටහේ. ටීකායෙහි “ඛරිගතංති ඵරුසං”යි කීයේ එ හෙයිනි.

 

උපාදින්තං = තරකොට ගන්නා ලද (මම යැ මාගේ යැ යි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් දැඩි කොට ගන්නා ලද්දේ ය. අල්වා ගන්නා ලද්දේ ය. මතු මත්තෙහි ආමර්‍ශනය කරන ලද්දේ යැ.)

 

විශේෂ :- i. කම්ම සමුට්ඨානය උපාදින්න යැ. එහෙත් මෙහිලා කම්ම සමුට්ඨානය ද, කම්ම සමුට්ඨාන නොවූයේ ද, ඇති හෙයින් මෙහි උපාදින්න යැයි කීයේ තෘෂ්ණාදීන් අල්වා ගන්නා ලද්ද සඳහා යි.

 

ii. පෙර කී සේ අජ්ඣත්තාදි ලක්‍ෂණ ඇති පෘථිවි ධාතු කොටස් නම් කේසාදිය යි. මෙහි මත්‍ථුඞ්ගං යි බහාවිසි කොටසෙක් වේ.

 

(පටිසම්භිදා මාර්‍ගයෙහි මත්‍ථලුඞ්ගං යි පෙළෙහිම ආයේ ය.)

 

සංවාපනඤ්ඤම්පිකිඤ්චි = ආපො ධාතු ආදි අවශේෂ කොටස්වල ද, අවිනිර්‍භොග වශයෙන් පවත්නා පඨවි ධාතු කොටස් ද, සංග්‍ර‍හ කරනු සඳහා යැ.

 

ආපො ආදියෙහි ද “අජ්ඣත්තං, පච්චත්තං, උපාදිත්තං” යනාදිය පෙර සේ මැයි. විශේෂස්ථාන මතු දැක්වේ.

 

ආපෝ = ඒ ඒ තැනට පැතිරෙන (ගලා බස්නා) බැවින් වැගිරෙන ස්වභාව ඇත්තේ ආප නමි. සසම්භාර ආප ය මෙයින් කීයේ වේ.

 

එය මැ වැගිරීමෙන් ‘සසම්භාර පඨවි’ සංඛ්‍යාත ඒ ඒ තැනට පැතිරීම් වශයෙන් පැමිණේ.

 

විශේෂ :- එයම සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සයාදි ප්‍ර‍ත්‍යය වශයෙන් සෙසු භූතත්‍ර‍ය සංඛ්‍යාත ඒ ඒ තැනට ද්‍ර‍වත්‍වයෙන් වැගිරෙමින් ඔවුනොවුන් සම්බන්ධ කරමින් පවත්නා හෙයින් මෙසේ කියු යුතු බවට පමුණුවයි.

 

ආපෝගත = කම්ම සමුට්ඨානාදී ඒ ඒ කොටසෙහි ඇතුළත් වූ හෙයින් ආපෝගත ය.

 

(මෙහි වූ කලි “පිත්තං - මුත්තං” යි කී දොළොස් කොටසට ඇතුළත් වූ ආබන්‍ධන ස්වභාවය යි.)

 

තේජෝ = තියුණු බැවින් තේජෝ නමි.

 

තේජෝගතං = යට කී සේ කර්‍මජාදි වශයෙන් අනෙක ප්‍ර‍කාරයෙන් පැවැති තේජෝ ධාතුවෙහි ඇතුළත් වූ උණුසුම් ස්වභාව යි.

 

යෙන ච සන්තප්පති = කිපිකල මේ ශරීරය තැවීම කරන,

 

යෙන ච ජරීයති = දිරීමට පමුණුවන, ඉන්‍ද්‍රියයන් විකල බවට පමුණුවන බල පිරිහීම්, ඇඟ රැලි නැඟීම්, හිසකෙස් පැසීම්, ඇස් නොපෙනීම්, කන් නොඇසීම් ආදියට පමුණුවන යම් ස්වභාවයක් වේ නම් එය ද

 

යෙන ච පරිඩය්හති” = යමකින් දාහයට පැමිණ “දැවෙමි, දැවෙමි”යි හඬමින්න සියක් වරක් උණුකොට සිහිල් දියෙහි බහාගත් (ශතධෞත) ගිතෙල් හෙළ සඳුන් ආලේප හා තල් වැට පවන් කැමති වේ ද

 

යෙන ච අසිත පීත ඛායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති = (එසේ ම) අනුභව කළ ඛාද්‍ය-භෝජ්‍ය-ලෙය්‍ය-පේයාදිය මනාසේ පැසී, රස-මස්-මේද-නහර-ඇට-ඇටමිදුලු-ශුක්‍ර‍ යන සප්ත ධාතුන් ගේ වශයෙන් වෙනස් බවට යමක් නිසා පැමිණේ ද හෙඳ තේජෝ ධාතු නම්

 

විස්තර :- ආහාරය පැසුණු කල රසය ද, ඉන් රස ධාතුව ද, ඉන් ලෙය ද, ඉන් ලෙහෙධාතු ද, යනාදී ක්‍ර‍මයෙන් සියලු ධාතු උපදී.

 

මෙ කී තේජෝ ධාතු අතරින් සන්තාපන-ජීරණ-දහන-සංඛ්‍යාත තේජෝ ධාතු තුන කර්‍ම-චිත්ත-සෘතු-ආහාර- යන සතරින් මැ හට ගනී. පශ්චිම පාකාග්නිය කර්‍මයෙන් මැ හට ගනී.

 

වායො = සෙලවීම් වශයෙන් හෝ වේගවත් ගමන් වශයෙන් හෝ පවත්නා හෙයින් වායෝ නම් වේ. එසේ මැ යට කී කර්‍මාදි අනේකප්‍ර‍කාර වායෝ ධාතුවෙහි ඇතුළත් හෙයින් වායෝගත නම් වේ. පිපෙන ස්වභාවය එහි ලක්‍ෂණය යි.

 

උද්ධඞ්ගමාවත = තැලි නැඟීම්-හික්කා පැවැත්වීම්-වමනය වීම්-කිවිසිම් ආදි වශයෙන් පවත්නා උඩට නැගෙන වාතය.

 

අධොගමා වාතා = මල - මුත්‍ර‍ - පිත් - සෙම් - සොටු - කෙළ - දුර්‍ගන්‍ධයන් පිට කරන යටට බස්නා වාතය.

 

කුච්ඡිසයා වාතා = අතුණුයෙන් (බඩවැලින්) පිටත පවත්නා වාතය.

කොට්ඨසයා වාතා = අතුණුබහන් ඇතුළත පවත්නා වාතය.

 

අඞ්ගමඞ්ගානුසරිනො වාතා = ධමනි අනුසාරයෙන් සකල ශරීරයෙහි අඞ්ග ප්‍ර‍ත්‍යඞ්ග අනුසාරයෙන් පැතිරී අතපය දික්කිරීම් වක්කිරීම් - ඉදිරි බැලීම් - අවට බැලීම් - නැඟිටීම් ආදිය පවත්වන වාතය.

 

අස්සාසො-පස්සාසො = ඇතුළට වදනා නාසික වාතය හා පිටතට නික්මෙන වාතය යන මේ ය. මෙය මුල කී සතර කර්‍මාදි චතු සමුට්ඨානික ය.

 

ආශ්වාස - ප්‍ර‍ශ්වාස = වාතය චිත්ත සමුට්ඨාන ය. එහෙයින් ඒ ශරීරයෙන් පිටත නො පවතී.

 

ප්‍ර‍ශ්නයෙකි:- එසේ වන්නා ප්‍ර‍ශ්වාසය දික් නැහැ ඇත්තහුගේ නැහැ අග ද ලුහුඬු නැහැ ඇත්තහු ගේ යටි තොල ද පහරිමින් පිටවන්නේ කෙසේ ද?

 

පිළිතුර:- අධ්‍යාත්මික සන්තානයෙහි පැවැති චිත්ත සමුට්ඨානයාගේ ද, උතු සමුට්ඨානයාගේ ද වශයෙන් මේ කියන ලදි.

 

මෙයින් අන්‍ය වූ ද අවශේෂ කොට්ඨාසයන්හි පවත්නා සහජාත වූ වායෝ ධාතුවෙක් වේ ද හෙ ද මෙහි ම සංග්‍ර‍හ වේ. මේ යැ වායෝ ධාතු නම්.

 

මෙ සේ විසි ආකාර වූ පඨවි ධාතුව ද, දොළොස් ආකාර වූ ආපෝ ධාතුව ද, සතර ආකාර වූ තේජෝ ධාතුව ද, සයාකාර වූ වායෝ ධාතුව දැ යි දෙසාළිස් ආකාරයෙකින් සතර ධාතු විස්තර කරන ලදහ.

 

විශේෂ:- භාවනා විධියෙහිලා ධාතුකර්‍මස්ථානය (තික්ඛපඤ්ඤ) තියුණු නුවණ ඇත්තාහට ද, වඩා තියුණු නො වූ, නුවණ ඇත්තා හට ද සප්පාය වන සේ ම මේ භාවනාව දෙපරිද්දෙකින් වදාරන ලදි. එ හෙයින් කමටහන් ගැනීම ද දෙ පරිද්දෙන් ම වුව මැනව. ඉන් තියුණු නුවණ ඇත්තාහට (ධාතු විභඞ්ගයෙහි ආ පරිදි) කේසයෝ පඨවි ධාතු යැ, ලෝමයෝ පඨවි ධාතු යැ, යනාදීන් දෙසාළිස් ආකාරයෙන් විස්තර කිරීමේදී ධාතු පරිග්‍ර‍හය ප්‍ර‍මාද වැ සිදුවේ. හුදෙක් කේසාදි විසි කොටසෙහි පිහිටි තද ගතිය පෘථිවි ධාතු යැයි ද, ඒ භූතයන් බැඳ විසිරි යා නො දී එක්කොට තබන ලද ලක්‍ෂණය ආපෝ ධාතු යැයිද, ඒ භුතයන් ගේ පැසවන ලක්‍ෂණය තේජෝ ධාතු යයි ද, ඔවුන් ගේ පිපෙන ලක්‍ෂණ වායෝ ධාතු යැයි ද, මෙ සේ වස්තුන් ආමර්‍ගනය නො කොට ලක්‍ෂණ මාත්‍ර‍ය පමණක් මෙනෙහි කරන්නා වූ තියුණු නුවණ ඇති යෝගාවචරයා හට කර්‍මස්ථානය වහා ප්‍ර‍කට වැ වැටහේ. ඉන්‍ද්‍රියයන් ගේ තියුණු බැවිනි.

 

මෙ සේ මෙනෙහි කරන ලද මන්‍දප්‍රාඥයාහට කමටහන එළඹ නො සිට මුවහ කරන හෙයින් අන්‍ධකාරයක් මෙන් වේ. ඕහට වනාහි පෙර කී සේ (කේසයෝ පඨවි ධාතු යැ, යනාදි ක්‍ර‍මයෙන්) වස්තු ආමර්‍ගනයෙන් විස්තර වශයෙන් මෙනෙහි කරත් මැ තියුණු නුවණ නැති බැවින් ද, විස්තර රුචික බැවින් ද, කමටහන ප්‍ර‍කට වන්නේ ය.

 

එයට මේ උපමාවෙකි. “බොහෝ පෙය්‍යාල ඇති පාළියක් පාඩම් කරන භික්‍ෂූන් දෙදෙනකු අතුරින් තියුණු නුවණ ඇත්තේ පෙය්‍යාලයට දොරටුව වැනි වූ ඒ ඒ වාරයෙහි ආදි අන්තයන් පමණක් ගෙන පාඩම් කරමින් වහා කෙළවරට යේ”

 

එහෙත් එකල වඩා නො තියුණු නුවණ ඇත්තේ මේ කවර පාඩමක් ද, තොළ ගෑවීමට ද ඉඩෙක් නො දෙතැයි ද, මෙ සේ පාඩම් කොට කෙසේ ප්‍ර‍ගුණ වේ දැ යි කියා ආ, ආ, තැන පෙය්‍යාලයන් ද කියමින් විස්තර සේ පාඩම් කරයි. එකල තියුණු නුවණ ඇත්තේ ආයුෂ්මතුනි! ඔබ මේ පාඩම් අවසන් කරන්නට නො දෙන්නේ කවර හෙයින් ද මෙ සේ පාඩම් කොට කවදා පෙළ අවසන් වේ දැ යි ඕහට කියා.

 

එ හෙයින් තික්ඛ පඤ්ඤයාහට මේ ධාතු මනසිකාරයේ සංක්‍ෂේපය ද, නාති තික්ඛ පඤ්ඤයාහට විස්තර ක්‍ර‍මය ද සත්ප්‍රාය වේ. මේ දැක්වෙනුයේ තික්ඛ පඤ්ඤයාහට උපයෝගී ක්‍ර‍මය යැ. මේ කමටහන වඩනු කැමති තියුණු නුණ ඇති යෝගාවචර තෙමේ පෙර ශීල නිර්දේශාදියෙහි කී සේ ශීලාදිය පිරිසිදු කොට සත්ප්‍රාය වූ භාවනානුකූල විවේක සෙනසුනකට ගොස් සිත කර්‍මස්ථානයට යොමුකොට ගෙන පාදතලයෙන් උඩ ද, කේසයෙන් යට ද, සමින් සරස ද, පිරිසිඳනා ලද ශුක්‍ර‍ ශ්‍රෝණිතයෙන් හටගත් චාතුර්‍මහාභතික මේ ශරීරය ධාතු වශයෙන් මෙනෙහි කරයි.

 

එසේ මෙනෙහි කරනුයේ ධාතුන් ගේ ලක්‍ෂණ වශයෙන් හා ආකාර වශයෙන් ද මෙනෙහි කෙරේ. මේ දෙ ආකාරය දැක්වූයේ පුද්ගලාධ්‍යාශය වශයෙනි. ලක්‍ෂණ වශයෙන් මෙනෙහි කරන්නා ධාතුන් ස්වභාව වශයෙන් ගනී.

 

ඒ මෙසේ යි:- මේ සිරුරෙහි තද ගතිය ලක්‍ෂණ කොට ඇති රළු ආකාරය පඨවි ධාතු ය. දියාරු ගතිය ලක්‍ෂණ කොට ඇති වැගිරෙන ආකාරය ආපෝ ධාතු ය. උණුසුම් ගතිය ලක්‍ෂණ කොට ඇති පැසවන ආකාරය තේජෝ ධාතු ය. පිපෙන ගතිය ලක්‍ෂණ කොට ඇති සෙලවෙන ආකාරය වායෝ ධාතු යයි මෙ සේ සංක්‍ෂේපයෙන් ලක්‍ෂණ - රස වශයෙන් හා ආකාර වශයෙන් ද මෙනෙහි කරයි.

 

මෙසේ නැවත නැවත සිය-දහස් වරක් ධාතු වශයෙන් නිස්සතත්‍ව නිර්ජීව වශයෙන් මෙනෙහි කළ යුතු. එසේ කරන්නාහට ලක්‍ෂණාදීන් යමක් ප්‍ර‍කට වැ වැටහේ නම් එය මැ ගෙන සෙස්ස බැහැර කොට ඒ සමග මැ පඨවි ධාතු යැ, ආපෝ ධාතු යැ යනාදීන් මනසිකාරය පැවැත්විය යුතු. එසේ කරන්නාහට නොබෝ කලකින් ධාතු ප්‍රභේදය වැටහෙන නුවණින් පරිගෘහීත වූ ස්වභාව ධර්‍මයන් අරමුණු කොට පැවැති හෙයින් අර්පණාවට නො පැමිණ උපචාර සමාධිය උපදී.

 

තව ද ක්‍ර‍මයෙකි:- අට්ඨීඤ්ච පටිච්ච නාහාරුඤ්ච පටිච්ච මංසඤ්ච පටිච්ච චම්මඤ්ච පටිච්ච ආකාසො පරිවාරි තො රූපනෙත්‍වව සඞ්ඛං ගච්ඡති[381]

 

“ඇට ද, නහර ද, සම ද නිසා අහස පුරා සිටි රූපයෙක් වේය”යි දම් සෙනෙවි සැරියුත් මහා ස්වාමීන් වදාළ පරිදි සතර මහා භූතයන් ගේ නිස්සතත්‍ව භාවය සඳහා සතර කොටසක් කොට ගෙන ඒ ඒ කොටසෙහි ඇතුළත පවත්නා තතු නුවණ මෙහෙයා බෙදා බෙදා මොවුන් අතුරින් ‘මේ පඨවි ධාතු යැ’ යනාදීන් පෙර කී සේ ධාතු මාත්‍ර‍ වශයෙන් මෙනෙහි කරන කල ද යට කී පරිදි උපචාර උපදී.

 

මේ සංක්‍ෂේප වශයෙන් ධාතු ව්‍යවස්ථාන ක්‍ර‍මය යි.

 

විස්තර ක්‍ර‍මය:- මේ කමටහන වඩනු කැමති නොතියුණු නුවණ ඇති යෝගාවචර තෙමේ ගුරුන් වෙතින් දෙසාළිස් ආකාරයෙකින් විස්තර වශයෙන් ධාතුන් ඉගෙන පෙර කී පරිදි සෙනසුනෙක වසමින් සියලු පූර්වකෘත්‍ය සපුරා සිහිය එළවා.

 

1.  සසම්භාර සංඛෙප වශයෙන් ද,

2.  සසම්භාර විභත්ති වශයෙන් ද,

3.  සලක්ඛණ සංඛෙප වශයෙන් ද,

4.  සලක්ඛණ විභත්ති වශයෙන් දැ යි

 

මේ සතර ආකාරයෙන් කමටහන වැඩිය යුතු.

 

විශේෂ:- ද්වාත්තිංසාකාරයෙහි කී සේ දෙතිස් ආකාර හැර දෙසාලිස් ආකාරයෙනැ යි කීයේ වස්තු වශයෙන් ධාතුන් ගැනීම සඳහා යැ. පෙර කී සෙනසුනන නම් යට කම්මට්ඨන නිද්දේසයෙහි කී සේ ගොදුරු ගමින් ඉතා නුදුරු නොළංවීම් ආදි පස් අඟින් යුතුවීම යි. සියලු පූර්‍වකෘත්‍ය සම්පූර්‍ණවීම නම් පළිබෝධ සිඳීම්, සීල විසුද්ධිය සම්පූර්‍ණ කිරීම්, කමටහන් ඉගෙනීම් ආදිය යි.

 

1. සසම්භාර නම්:- සමූහය යැ කේසාදි පඨවි ධාතු කොටස් විස්සෙහි එකක් පාසා පවත්නා තද බව නිමිතිකොට පඨවි ධාතු යැයි දැනීම හා ව්‍යවහාර කිරීම වේ.

 

(කෙසාදි විසි කොටසෙහි පෘථිවි ධාතු යැ යන බුද්ධිය හා නාමය තද බව නිසා පවත්නා හෙයිනි.)

 

කේසාදියෙහි පෘථිවි විශේෂයෙන් ඇති හෙයින් කේසාදීහු සසම්භාර නම් වෙති.

 

සංඛේප නම්:- ඒ කේසාදි කොටස් විස්ස පිඩු කොට ගැනීමය. ආපෝ ආදියෙහි ද මෙ සේ මැයි.

 

මෙ සේ කේසාදි කොටස් විස්ස ද, පිත්තාදි කොටස් දොළසද, සන්තාපනාදි කොටස් සතර ද, උද්ධඞ්ගමාදි කොටස් සය ද, සංක්‍ෂේප වශයෙන් පිඩුකොට පිළිවෙළින් පෘථිවි ආදි ධාතුන් පරිග්‍ර‍හ බෙදීම සසම්භාර සංඛේප වශයෙන් භාවනා කිරීම යි.

 

විස්තර:- ඒ යෝගවචර තෙමේ හිසකෙස් ආදි විසි කොටසෙහි දැඩි වූ ආකාරය පඨවී ධාතුයැ යි නියම කෙරේ. දොළොස් කොටස්හි වැගිරෙන්නාවූ (හාත්පසින් බඳිනා) ආකාරය ආපෝ ධාතු යැ යි නියම කෙරේ. සතර කොටස්හි මුහුකුරු වන තේජස යැ යි කියන ලද උණුසුම තේජෝ ධාතු යැ යි නියම කෙරේ. සය කොටස් හි පිපෙන (ගතිය) ආකාරය වායෝ ධාතු ය යි නියම කෙරේ. මෙ සේ සතර මහා භූතයන් නියම කරන්නා වූ ඒ යෝගාවචරයාහට ධාතුහු ප්‍ර‍කට වැ පහළ වන්නාහු ය. ඒ ධාතුන් නැවත නැවත මෙනෙහි කරත් ම මෙකී ක්‍ර‍මයෙන් උපචාර ධ්‍යානය උපදී.

 

මෙ සේ භාවනා කොට කමටහන සිද්ධ නො වේ නම්-

 

2. සසම්භාර විභත්ති වශයෙන් වැඩිය යුතු. පෙර කායගතා සති කමටහනෙහි කී පරිදි මේ සප්තවිධ උග්ගහ කෝසල්ලය හා දසවිධ මනසිකාර කෝසල්ලය දත යුතු.

 

සත් වැදෑරුම් උග්ගහ කෝසල්ලය හා දස වැදෑරුම් මනසිකාර කෝසල්ලය ද, කේසාදි දෙතිස් කොටස් ද, ධාතු මනසිකාර වශයෙන් පළමුව සම්පූර්‍ණ කොට තචපඤ්චකාදිය අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් වචනයෙන් සජ්ඣායනා කිරීම් ආදි වූ සියලු විධාන නො වළහා කළමනා ය. ඒ කායගතාසතියෙහි වනාහි වර්‍ණ-සණ්ඨාන-දිශා-අවකාශ-පරිච්ඡේද යන මේ පස් ආකාරයෙන් හිසකේ ආදි දෙතිස් කුණපයන් මෙනෙහි කොට පිළිකුල් වශයෙන් සිත පිහිටුවිය යුතු ය.

 

මේ ධාතු මනසිකාරයෙහි වූ කලී පස්-පස් ආකාරයෙන් මෙනෙහි කොට ධාතු වශයෙන් සිත පිහිටුවිය යුතු ය. මේ යැ මෙහි වෙනස නම්.

ඒ මෙසේ යි :-

 

(1) කෙස් - මේ කේසයෝ හිස් කබල වසා සිටි සම මතු පිට උපන්හ. තුඹසක් මතු පිට ඉලුක් තණ හටගත් කල ‘මා මුදුනෙහි ඉළුක් තණ හටගතැ’යි තුඹස් මුදුන නොදනී. ‘අපි තුඹස මතුයෙහි හටගතුම්හයි ඉළුක් තණ ද නො දනී. එසේ මැ ‘මා මතුයෙහි කෙස් හටගතැ’යි හිස් කබල වසා සිටි සම නො දනී. ‘අපි හිස් කබල වසා සිටි සම මතුයෙහි වූම්හ’යි කේසයෝ නොදනිත්. මෙසේ හිස් කබල වසා සිටි සමය, කේසයෝය, යන භූත රූප හා උපාදා රූපයෝ ඔවුනොවුන් - ‘මා කෙරෙහි කේසයෝ හට ගත්හ. අපි හිස් සම මතුයෙහි වූම්හ’යි මෙනෙහි කිරීමක් නැතැ’යි මෙසේ කේසයෝ නම් මේ ශරීරයෙහි වෙන මැ කොටසෙක. සිතිවිලි රහිතය හ. අව්‍යාකෘතය හ. ආත්මයෙන් ශුන්‍යය හ. එහෙයින් මැ සත්ත්‍වයෙක් නොවන්නේ ය. තද බැව් අධික වූ පෘථිවි ධාතුය යි මෙනෙහි කළ යුතු.

 

(2) ලොම් - සිරුර වෙළා සිටි සමැ හට ගනී. යම් සේ පාළු ගම් පෙතෙකැ හීතණ හටගත් කල ‘මා වෙත හීතණ හටගත්හ’යි පාළු ගම් පෙත නො දනී ද ‘අපි පාළු ගම්පෙතක හටගතුම්හ’යි හීතණ නො දනී ද එසේ මැ සිරුර වෙළා සිටි සම ද ‘මා කෙරෙහි ලොම් හටගතැ’යි නොදනී. ලොම් ද ‘අපි සිරුර සිටි සම හට ගතුම්හ’යි නොදනී. මෙසේ පරමාර්‍ථයෙන් දුක් සැප විඳුනා ආත්ම සංඛ්‍යාත විඳින්නකු නැති හෙයින් පාළු ගම් පෙතක් බඳු වූ මේ සිරුර වෙළා සිටි සම ය, එහි හටගත් හීතණ බඳු රෝමය යන මේ භූත උපාදාය රූප ධර්‍මයෝ ‘ඔවුනොවුන් මෙනෙහි කිරීමෙක් නැතැ යි මෙ සේ ලෝමයෝ නම් වෙන ම කොටසෙක සිතිවිලි රහිතය හ. අව්‍යාකෘතය හ. ආත්මයෙන් ශුන්‍යය හ. සත්ත්‍වයකු නො වැ තද බව් අධික කොට ඇති පෘථිවි ධාතුහු යැයි මෙනෙහි කළ යුතු ය.

 

(3) නිය - අත් පා ඇඟිලි කෙළවර හටගත් විසි නිය පොත්තෝ ය. යම් සේ මී ඇට විද අඬු කැබලි අගෙහි අවුණාගෙන බාල දරුවන් කෙළනා කල ‘අප අගෙහි මී ඇට අවුණා තිබේය’යි දඬු කැබලි නොදනී ද? ‘අපි ලී කැබලි අග අවුණන ලදුම්හ’යි මී ඇට නො දනීද? එසේ මැ අප අග නිය හැට ගැනී ඇතැ’යි ඇඟිලි අක් නො දනී. ‘අපි ඇඟිලි අග හට ගතුම්හයි නියපොතු නොදනී. මෙසේ මේ ඇඟිලි නිය යන භූත රූප උපාදාරූපයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීම නැත්තා හ. මෙසේ නිය නම් මේ ශරීරයෙහි වෙන මැ කොටසෙකැ යි ද, සිතිවිලි නැතැ යි ද, අව්‍යාකෘත ධර්‍මයෙහි ඇතුළත් ආත්මයෙන් ශුන්‍ය තද බව් අධික පෘථිවි ධාතුයැ යි ද,

 

(4) දත් - උඩ යට දෙ හණු ඇටයෙහි හට ගත් දෙ තිස් දන්තයෝ ය. යම් සේ වඩුවන් ගල් වළවල යම්කිසි ලහටුවක් බහා ටැම් සිටුවා තුබූ කල ‘අප කෙරෙහි ටැම් සිටුවන ලදැ’යි ගල් වළවල් නො දනී ද, ‘අපි ගල් වළවල පිහිටියම්ඟයි ටැම් නො දනී ද, එපරිද්දෙන් ‘අප කෙරෙහි දත් හටගතැ’යි දෙහණු ඇට ද, ‘අපි දෙ හණු ඇටයෙහි හටගතුම්හ’යි දත් ද, නො දනී. මෙසේ, දෙ හනු ඇට හා දත් ය යන භූත උපාදාය රූප ඔවුනොවුන් චිත්තාභෝග නැති පෘථිවි ධාතුයැ යි ද

 

(5) සම - සම සියල් සිරුර වසා සිටියේ ය. තෙත්වූ ගෙරි සමකින් වසන ලද මහා වීණාවක් ‘තමා තෙත් වූ ගෙරි සමින් වසන ලදැ’යි මහා වීණාව ද, ‘මා විසින් සමා වීණාව වසන ලදැ’යි තෙත් ගෙරි සම ද, නො දන්නා සේ ‘තමා සමින් වසන ලදැ’යි ශරීරය ද, ‘මම ශරීරය වසා සිටිමැ’යි සම ද, නො දනී. දුර්‍ගන්‍ධ භාවයෙන් තෙත් ගෙරි සමකට සමාන වූ මේ සම ද, ශරීරය ද, යන භූත-උපාදාය රූප ඔවුනොවුන් චිත්තාභෝග රහිත පෘථිවි ධාතුයැ යි ද

 

(6) මස්පිඬු - නව සියයක් මස්පිඬු ඇටසැකිල්ල වසා සිටියේ ය. කටු මැටි අවුළුවා සිටි භිත්තියක් තමා කටුමැටි අවුළුවා සිටීය’යි ද, කටු මැටිය ද ‘මම භිත්ති අවුළුවා සිටිමැ’යි ද, නො දන්නා සේ ‘මම මස්පිඬු අවුළුවා සිටිමැ’යි ඇට සැකිල්ල ද, ‘අපි ඇටසැකිල්ල අවුළුවා සිටුම්ඟයි මස් පිඬු ද, නො දනී. මෙසේ ඇටසැකිල්ල යැ මස් පිඩු යැ, යන භූත - උපාදාය රූප පෘථිවි ධාතු යැ යි ද

 

      (7) නහර - ශරීරය ඇතුළත ඇටසැකිල්ල බැඳී සිටියේ ය. කුටි බිත්තියක සිටුවන ලද වරිච්චි ද වැලින් වෙළන ලද්දේ, ‘අපි වැලින් වෙළන ලදුම්හ’යි නො දනී. වැල්ද, අපි වරිච්චි දඬු වෙළා සිටුම්හ’යි නො දනී. එසේ මැ ඇට ද ‘අපි නහාරුයෙන් වෙළී සිටුම්හ’යි නො දනී. නහර ද ‘අපි ඇට වෙළා සිටුම්හ’යි නො දනී. මෙසේ - පෘථිවි ධාතුයැ යි ද

 

(8) ඇට - (අතුරින්) විළුම් ඇටය, ගොප් ඇටය ඔසවා සිටී. ගොප් ඇටය කෙණ්ඩා ඇටය ද, එය දණ ඇටය ද, එය කළවා ඇටය ද, එය උකුළු ඇටය ද, එය පිට කටුව ද, එය ගෙළ ඇටය ද, එය හිස් කබල ද, ඔසවා සිටී. එසේ මැ හිස් කබල ගෙළ ඇටයෙහි පිහිටියේ ය. ගොප් ඇටය විළුම් ඇටයෙහි පිහිටියේ ය. උළු, දඬු, ගොමරිටි, ආදි ද්‍ර‍ව්‍ය සමූහයෙහි යට-යට වූ ද්‍ර‍ව්‍යය ‘අපි උඩ-උඩ සිටි උළු ආදිය ඔසවා ගෙන සිටුම්හ’යි ද, මතු සිටි උළු ආදිය ‘අපි යට සිටි දඬු ආදියෙහි පිහිටියම්හ’යි ද, නො දන්නා සේ විළුම් ඇටය ගොප් ඇටයෙහි පිහිටියේය යිද, ගොප් ඇටය මම විළුම් ඇටය දරා සිටීමැයි ද නො දනී යැයි ද

 

(9) ඇට මිදුලු - ඒ ඒ ඇට ඇතුළෙහි පිහිටියේ ය. හුණ පුරුක් ආදිය ඇතුළත බහා ලූ හිවූ වේ බඩ ආදිය ‘අපි හුණ පුරුක් ඇතුළත බහා ලද ලදුම්හ’යි ද, හුණ පුරුක් ආදිය ‘අප කෙරෙහි හිවූ වේ බඩ ලීය’යි ද නො දන්නා සේ ‘අපි ඇට ඇතුළත වූමහ’යි ඇට මිදුලු ද, අප ඇතුළත ඇට මිදුලු වීය යි ඇටද නො දනී යැයි ද

 

(10) වකුගඩුව - ගළවලුයෙන් නික්මුණු එක් මුලකින් මදක් තැන් ගොස් දෙකක් වැ බෙදී ගිය මහ නහර වැලින් බැඳී හෘදය මාංසය වටා සිටියේ ය. එක නටුවෙක හට ගත් අඹපල දෙකක නටුව ‘මා අඹපල දෙක බඳනා ලදැ’යි ද, අඹපල දෙක ද ‘අපි නටුවෙන් බඳනා ලදුම්හ’යි ද, නො දන්නා සේ මහ නහරය ද ‘මා වකුගඩුව බඳනා ලදැ’යි ද වකුගඩුව ද ‘මා නහරයෙන් බඳනා ලදැ’යි ද නො දනී යැයි ද

 

(11) හෘදය - ශරීරය තුළ ඇටසැකිල්ල මැද නිසා හෘදය සිටී. දිරා ගිය රිය මැදිරියක් මැද නිසා මස් වැදැල්ලක් එල්ලෙන කල රිය මැදිරිය මැද, ‘මා නිසා මස් වැදැල්ලක් පවතී ය’යි ද, මස් වැදැල්ල ද, ‘මම රිය මැදිරිය මැද නිසා පවතීමැ’යි ද නො දන්නා සේ හෘදය ඇට සැකිල්ල අතුළද ‘මා නිසා හදවත පවතීය’යි ද, හදවත ද මම් හෘදය අස්ථි පඤ්ජරය මැද නිසා පවතිමැ’යි ද නො දනී යැයි ද

 

(12) අක්මාව - ශරීරය ඇතුළත දෙතන (මැද) අතුරෙහි දකුණු පස නිසා පවතී. සැලිකබල් පසෙක ඇලී ගිය කලු මස් පිඬු යුවළක් ‘මා කෙරෙහි මස්පිඬු ඇලී සිටීයැ’යි සැලිකබල් පස ද, ‘මම සැලිකබල් පස නිසා පවතිමැ’යි මස්පිඬු යුවළ ද නොදන්නා සේ ‘මම් දෙතන අතර දකුණු පස නිසා පවතිමැ’යි අක්මාව ද, ‘මා නිසා අක්මාව සිටී යැ’යි දෙත මැද දකුණු පස ද නො දනී යැයි ද

 

(13) දලබුව - පිළිසන් නො පිළිසන් යැයි දලබු දෙකෙකි. පිළිසන් දලබුව හදවත හෝ වකුගඩුව පිරිවරා සිටී. නො පිළිසන් දලබුව සියල් සිරුරු මසට යටව සිටී. රෙදි කඩකින් මාංසයක් වසා ලූ කල මාංසය ‘මා රෙදිකඩින් වසන ලදැ’යි ද, ‘මා මාංසය වෙළන ලදැ’යි රෙදිකඩ ද, නො දන්නා සේ වකුගඩු හෘදය මාංසය හා සියල් සිරුරු මස ද, ‘තෙමේ දලබු වසා සිටීය’යි ද, දලබුව, ‘මම් වකුගඩු හදවත් සියල් සිරුරු මසින් වසන ලද්දෙමැ’යි ද නො දනී යැයි ද

 

(14) බඩදිය - හදවතට වම් පසැ උදර පටලයේ මතුපස නිසා සිටී. කොටුගුලක මතුපස නිසා අලවා තුමූ ගොම පිඩක් ‘මම් කොටුගුල් මතුපස නිසා පවත්නෙමැ’යි ගොමපිඩ ද, ‘මා නිසා ගොමපිඩ පවතීයැ යි’ කොටුගුල් මතු පස ද, නො දන්නා සේ ‘මම් හදවත වම්පස උදර පටලයේ මතු පස නිසා පවතිමැ’යි බඩදිව ද, ‘මා නිසා බඩදිව සිටීය’යි හදවත වම්පසැ උදර පටලයේ මතුපස ද නො දනී යැයි ද

 

(15) පපු කැනැත්ත - හදවත හා අක්මාව මතු භාගයෙහි දෙතන මැද වසා ගෙන සිට. දිරාගිය කොටුවක් තුළ ළිහිණි කැදැල්ලක් එල්බෙමින් පවත්නා කල ‘මා නිසා ළිහිණි කැදැල්ලක් එල්බෙමින් පවතීය’යි කොටු ගුල ද, ‘මම් කොටු ගුල මතුයෙහි එල්බෙමින් පවති මැ’යි ළිහිණි කැදැල්ල ද, නො දන්නා සේ සිරුරු ඇතුළ ද, ‘මා නිසා පපු කැනැත්ත එල්ලේ යයි’ද මම් සිරුර ඇතුළ නිසා පවති මැ’යි පපු කැනැත්ත ද, නො දනී යැයි ද

 

(16) අන්තය - (බඩවැල) ගෙළ මුල සිට ගුදය තෙක් මුළු සිරුර ඇතුළත පවතී. ලේ ඔරුවෙක හිස්සුන් ගැරවිල් සිරුරක් දරණ ගසා බහා ලූ කල ‘මා තුළ හිස්සුන් ගැරවිල් කුණක් සිටී යැ’යි ලේ ඔරුව ද, ‘මම් ලේ ඔරුවෙක සිටිමි’යි ගැරවිල් කුණ ද, නො දන්නා සේ ‘මා තුළ බඩවැල පිහිටියේ යැ’යි සිරුර අතුළ ද, ‘මම සිරුර ඇතුළත සිටිමැ’යි බඩවැල ද, නො දනී යැයි ද

 

(17) අන්ත ගුණය - (අතුණු බහන) බඩවැල අතරතුර දරණ එක් විස්සෙහි එක් විසි තැනකින් බැඳී සිටිනේ ය. පා පිස්නක් වෙළා සිටි රැහැනක් ‘මම් පා පිස්න වෙළා සිටිමැ’යි රැහැන ද, ‘මම් රැහැනින් වෙළන ලදිමි’යි පා පිස්න ද, නොදන්නා සේ ‘මම් බඩවැල වෙළා සිටිමි’යි අතුණු බහන ද, ‘මම් අතුණු බහනින් වෙළන ලදිමි’යි බඩවැල ද, නො දනී යැයි ද

 

(18) උදරිය - ආමාසයැ වූ නො පැසුණු අහරය, බලු ඔරුවෙක බහා ලූ බලු වමනය ‘මම් බලු ඔරුවෙහි සිටිමි’යි ද, බලු ඔරුව ද, ‘මා තුළ බලු වමනය බහාලන ලදැ’යි ද නො දන්නා සේ මම් ආමාසය නිසා පවතිමි’යි නො පැසුණු අහර ද, ‘මා තුළ නො පැසුණු අහර සිටී ය’යි ආමාසය ද නො දනී යැයි ද,

 

(19) කරීසය - (මළ) පක්‍වාසයෙහි (අතුණු කෙළවර) සිටිනේ ය. අඹරා හුණ පුරුකෙක බහා ලූ සිහින් පඬුවන් මැට්ටක් ‘මම් හුණ පුරුකෙහි සිටිමි’යි ද, හුණ පුරුක ‘මා තුළ සිහින් පඬුවන් මැටි පිහිටා ය’යි ද, නො දන්නා සේ ‘මම් පක්‍වාසයෙහි පවතිමි’යි පැසුණු අහර ද, ‘මම් පැසුණු අහර දරමි’යි පක්‍වාසය ද නො දනී යැ’යි ද,

 

(20) හිස් මොළ = (මත්‍ථලුඞ්ග) හිස් කබල ඇතුළත පිහිටියේ ය. පරණ ලබු කබලෙක බහා ලූ පිටි පිඩක් ‘මම් ලබුකබල ඇතුළත පිහිටියෙමි’යි පිටි පිඬද, මා තුළ පිටි පිඩ වීයැ’යි ලබු කබල ද නො දන්නා සේ, හිස් කබල ද, මා තුළ හිස් මොළ පිහිටියේ ය’යි ද හිස්මොළ ද, ‘මම හිස් කබල තුළ වීමැ’යි ද නො දනී.

 

මෙසේ හිස් කබල තුළ යැ. හිස් මොළය යන භූත-උපාදාය රූපයන් ඔවුනොවුන් චිත්තා භෝග මනස්කාර නැතැයි ද, මෙසේ හිස් මොළ නම් මේ සිරුරෙහි සිතුවිලි රහිත අව්‍යාකෘත ආත්ම ශුන්‍ය වෙන මැ කොටසෙකැයි ද, එහෙයින් මැ සතත්‍වයෙක් නොවේ ය යි ද, තද බව අධික කොට ඇති පෘථිවි ධාතු යයි ද, මෙනෙහි කරන්නේ ය. (මෙසේ විසි ආකාර වූ පෘථිවි ධාතු කොටස් එකක් පාසා මෙනෙහි කළ යුතු යි.)

 

අනතුරු වැ මෙසේ දොළොස් ආකාර ආපො ධාතු කොටස් මෙනෙහි කරන්නේ ය.

 

(1) පිත - අබද්ධ පිත්ත යැ. බද්ධ පිත්ත යැයි ඒ දෙවැදෑරුම් වේ. ඉන් අබද්ධ පිත්තය ජීවිතේන්‍ද්‍රිය පිළිබඳ යැ. කර්‍මජ තේජෝ ධාතුව මෙන් කර්‍මජ රූප ඇසුරු කොට පවතිමින් සියලු සිරුර පැතිරැ සිටිනේ ය. බද්ධ පිත්තය පිත්ත කෝෂයෙහි පිහිටියේ පූපයෙකැ පැතිරැ සිටි තෙලක් සේ පවතී. එහි පූපයෙකැ පැතිරැ සිටි තෙල ‘මම පූපය නිසා පවතිමි’යි ද, පූපය ද, ‘මම් පැතිරී සිටි තෙල් නිසා පවතිමි’යි ද නො දන්නා සේ, ශරීරය ද ‘මා පතුරුවා අබද්ධ පිත්තය පවතීයැ’යි ද, අබද්ධ පිත්තය ද, ‘මම් සියලු සිරුර පවතිමැයි’ද නො දනී.

 

එසේ මැ වැසි කලෙක ජලයෙන් පිරුණු වැටකොළු වහල්ල ‘මා කෙරෙහි ජලය සිටිතැ’යි ද, වැසි ජලය ද, ‘මම වැටකොළු වහල්ලෙහි පිරී සිටිමි’යි ද, නොදන්නා සේ, පිත් කෝෂය ද, ‘මා කෙරෙහි පිත සිටිතැ’යි ද, බද්ධ පිත ද, මම් පිත්තාසය පිරී සිටිමැ’යි ද නො දනී.

 

මෙසේ මේ පිත්තාසය යැ, පිත යැ යන භුත-උපාදාරූපයෝ ඔවුනොවුන් සැලකීමක් නැත්තාහ. එහෙයින් පිත නම් මේ ශරීරයෙහි පිහිටි සිතිවිලි නැති අව්‍යාකෘත ධර්‍මයෙහි ඇතුළත් ආත්මයෙන් ශුන්‍ය වූ සත්ත්‍වයෙක් නොවූ වැගිරෙන ස්වභාව ඇති බඳිනා ආකාරයෙන් පවත්නා එක් ආපෝ ධාතු කොටසකැ’යි ද,

 

(2) සෙම - පාත්‍ර‍යක් පුරාලන පමණක් වූයේ උදර පටලය පුරා පවතී. ගම්දොර ගවර වළෙහි ඇතුළත් ඉඳුල් දිය ගැප් මළ ආදිය මතු පිට පෙණ පටලයෙන් පිරී පවත්නා කල පෙණ පටලය ‘මම් ගවර වළ පවතිමැ’යි ද, ගවර වළද, ‘මා මතුපිට පෙණ පටලය පවතී යැ’යි ද නො දන්නා සේ ‘මා කෙරෙහි සෙම සිටියේයැ’යි උදර පටලය ද, මම උදර පටලයෙහි පිහිටියේමැ’යි සෙම් (පටලය) ද නො දනී. මෙසේ උදර පටල යැ, සෙම යැ යන භුත-උපාදායරූපයෝ ඔවුනොවුන් චිත්තාභෝග නැති. ශරීරයෙහි පිහිටිවෙන මැ කොටසෙක, සත්ත්‍වයෙක් නො වූ ද්‍ර‍වවත් වූ බඳනා ස්වභාව ඇති ආපෝ ධාතු කොටසකැ’යි ද

 

(3) සැරව - (පූයාව) නිතර පවත්නා තැනෙක් නැති. කණු කටු ආදියෙන් කැඩුණු ගිනි දැළින් පහළ තැන හෝ ගඩපොළ ආදිය හටගත් තැන හෝ ලේ නැවතී පැසවූ කල හට ගනී. පොරෝ ආදියෙන් කැපූකල වැගිරෙන ලහටු ඇති ගස් ආදියෙහි ඒ කැපූ තැන් ආදිය ‘අප කෙරෙහි ලහටු පිහිටියේය’යි ද, ලහටුව ද, “මම් ගස්වල කැපූ තන්හි සිටිමැයි’ද නො දන්නා සේ ‘පූයාව ද ශරීරයෙහි ඒ ඒ තුවාල වූ තන්හි වේයැ’යි ද, ඒ ඒ තුවාල වූ තැන් ද, ‘පූයාව අප කෙරෙහි පිහිටියේය’යි ද නො දනී. මෙසේ තුවාල වූ ශරීර ප්‍රදේශයැ, පූයාව යැ යන භුත-උපාදාරූපයෝ ඔවුනොවුන් මෙනෙහි කිරීමක් නැති. මේ ශරීරයෙහි පිහිටි සිතිවිලි නැති අව්‍යකෘතයනට අයත් ආත්මයෙන් ශූන්‍ය වූ සත්ත්‍වයෙක් නො වූ ආපෝ ධාතු කොටසකැ’යි ද,

 

(4) ලේ - සංසරණක අසංසරණක යැ යි දෙ පරිදි වේ. සංසරණකය අබද්ධ පිත්තය සේ ජීවිතින්‍ද්‍රිය පවත්නා සියල් සිරුරෙහි පැතිර සිටියි. අසංසරණක ලොහිතය බද්ධපිත්තය සේ අක්මාවෙහි යට භාගයෙහි නෑළියක් පමණ වූයේ වකුගඩු, හදමස්, අක්මා, පපු කැනති තෙමමින් පවතී. ඉන් හැසිරෙන ලෙය අබද්ධ පිත මෙන් දත යුතු ය, නො හැසිරෙන ලෙය බිඳුනු සැලි කබලෙක වැසි ජලය වට කල එහි යට වූ කැට කැබලිති ආදිය තෙමෙතත් ඒ කැට කැබලි ආදිය ‘අපි වැසි දියෙන් තෙමෙමු යැ’යි ද, වැසිදිය ද “මම් කැට කැබලිති තෙමෙමැ”යි ද, නොදන්නා සේ අක්මා යට පෙදෙස හෝ වකුගඩු ආදිය ද ‘අප කෙරෙහි ලේ පිහිටියේ ය’යි හෝ ‘අපි ලෙහෙයෙන් තෙමෙමින් සිටිමු යැ’යි ද නො දනී. ලෙහෙය ද, ‘මම අක්මා යට සිටිමැ’යි ද, වකුගඩු ආදිය තෙමමැ’යි ද, නො දනී. මෙසේ ලෙහෙ නම් ආපෝ ධාතු යැයි ද

 

(5) ඩහදිය - ගින්නෙන් හෝ අව්වෙන් හෝ අන්කිසි උණුසුමකින් හෝ තැවුණු කල රෝම කුප හෝ කෙස් සිදුරු පුරා වැගිරේ. දියෙන් මතු පිටට නැගුණු නෙලුම් දඬු ආදියේ සිදුරු ‘අප කෙරෙන් ජලය වැගිරේ ය’යි ද, ඒ ජලය ද ‘තමා නෙලුම් දඬු ආදියෙන් වැගිරේ ය’යි ද නො දන්නා සේ කේස-ලෝම කූප ‘අප කෙරෙන් ඩහදිය වැගිරේ ය’ යි ද, ඩහදිය ද ‘තමා රෝමකූප සිදුරු වලින් වැගිරේ ය’යි ද නො දනී. මෙසේ ආපෝ ධාතු යැයි ද

 

(6) මේද තෙල - තරවූවහු ගේ සිරුරැ මුළුල්ලෙහි ද, කෘශ වූවහු ගේ සිරුරැ කෙණ්ඩා මස් ආදි මස් පිඬු ඇති තන්හි ද, වූ උකු මී තෙල් වැනි ද්‍ර‍වයෙකි. කහ පෙවූ රෙදි කඩකින් වැසූ මස් පිඩක් ‘මම් කහ රෙදි කඩෙකින් වැසුයෙමැ’යි ද, රෙදි කඩ ද ‘මම් මස් වසා සිටිමැ’යි ද, නො දන්නා සේ ඒ ශරීර මාංසය ‘මා නිසා මේද තෙල පවතී ය’යි ද, මේද තෙල ‘මම් ශරීර මාංසයන් නිසා පවතිමැ’යි ද, නො දනී. මෙසේ ආපෝ ධාතු යැයි ද

 

(7) කඳුළු - ඇස් සිදුරු පුරා වැගිරෙන ගති ඇත්තේ ය. නො මේරු තල් ගෙඩියක ඇස්ස කැපූ කල ඒ සිදුරු ‘අපගෙන් ජලය වැගිරේ ය’යි ද, ජලය ‘මම් තල් ඇට සිදුරින් වැගිරෙමැයි ද, නො දන්නා සේ ඇස්වළ ද ‘අප වෙත කඳුළු පිහිටියේ ය’යි ද, කඳුළු ද, මම් ඇස්වළැ පිහිටියෙමැ’යි ද, නොදනී. මෙසේ ආපෝ ධාතු යැයි ද

 

(8) චුරුණු තෙල - ගිනි, අවු රැස් ආදියෙන් තැවෙන කල පිටිඅලු-පිටිපතුල්-නාසාපුට-නළල්තල-උරහිස් ආදියෙහි හටගන්නා කුරුලෑ නම් වියළි තෙල ය. තෙල් බහාලු නිවුඩු කැඳක් ‘මම් තෙල වතුරුවා සිටිමැයි’ද, තෙල ද, ‘මම් කැඳ වතුරුවා සිටිමැයි’ද, නො දන්නා සේ අතුල් පතුල් ‘අපි වුරුණු තෙල වතුරුවා සිටිමු යැ’යි ද, වුරුණු තෙල ද ‘මම් අතුල් ආදිය වතුරුවා සිටිමැ’යි ද නො දනී. මෙසේ ආපෝ ධාතු යැයි ද

 

(9) කෙළ - ඇඹුල් - මිහිරි ආදී, කෙළ ඉනීමට සුදුසු කරුණක් ඇති කලෙක දෙ කොපොලින් බැස දිව මත පිහිට යි. ගඟක් අසල කැනූ නිතර දිය උණන ළිඳෙහි ළිං පතුල ‘මා කෙරෙහි ජලය පිහිටියේය’යි ජලය ද, ‘මම් ළිං පතුලැ සිටිමැ’යි ද, නො දන්නා සේ, දිව මතු පිට ද, ‘මා කෙරෙහි කෙළ සිටී’යි ද, කෙළ ද ‘මම් දිව මතුපිට සිටිමැ’යි ද, නො දනී. මෙසේ කෙළ නම් ආපෝ ධාතු යැයි ද

 

(10) සොටු - හටගැනීමට සුදුසු කරුණක් ඇතිවුව දෙනාසා පුටය පිරී හෝ වැගිරෙමින් හෝ පවතී. කුණු වූ දී පිරූ බෙලි කටුව ‘මා කෙරෙහි කුණු දී පිරී සිටින්නේය’යි ද, කුණු දී ද ‘මම් බෙලි කටුව පුරා සිටිමැයි’ද, නො දන්නා සේ, නාසා පුට ද ‘මා කෙරෙහි සොට පිරී සිටීයැ’යි ද, සොටු ද, ‘මම් නාසාපුට පුරා සිටිමැ’යි ද, නො දනී. මෙසේ සොටු නම් ආපෝ ධාතු යැයි ද

 

(11) ඇටමිදුලු - ඇට සන්‍ධිවල (අබ්හඤ්ජන) තෙල් ගැල්වීම්, සිදු කෙරෙමින් එකසිය අසූවක් ඇට සන්‍ධියෙහි පවතී. තෙල් ගැල්වූ කණ ඇණය ‘මා කෙරෙහි තෙල් ගල්වන ලදැ’යි ද, තෙල ද, ‘මම් කඩ ඇණය ගැල්වීම’යි ද, නො දන්නා සේ, ඇට සන්‍ධි ද, ‘ඇට මිදුලු අප ගල්වා සිටිතැ’යි ද, ඇට මිදුලු ද, ‘මම් ඇට සන්‍ධි ගල්වා සිටිමැ’යි ද, නො දනී. මෙසේ ඇට මිදුලු නම් අපෝ ධාතුවෙකැ යි ද,

 

(12) මූත්‍ර‍ - වස්තිකෝෂය තුළ පවතී. ගවර වළෙක මුණින් බහා ලූ යෝනකයන් ගේ බොර දිය පෙරා ගන්නා කළය (යවන ඝටය) මා කෙරෙහි ගවර වළ දිය පිහිටියේය’යි ද, ජලය ද, ‘මම් යවන ඝටයෙහි පිහිටිමැ’යි ද, නො දන්නා සේ වස්තිය ද, ‘මා කෙරෙහි මූත්‍ර‍ පිහිටියේයැ යි ද, මූත්‍ර‍ය ද, ‘මම් වස්තියෙහි පිහිටියෙමැ’යි ද, නො දනී. මෙසේ මොහු ඔවුනොවුන් මෙනෙහි කිරීමක් නැති මේ ශරීරයෙහි පිහිටි වැගිරෙන ස්වභාව ඇති එක්තරා ආපෝ ධාතු කොටසකැයි ද

 

මෙසේ පඨවි සහ ආපෝ දෙතිස් කොටස මෙනෙහි කොට අනතුරුවැ තේජෝධාතු කොටස්හි මනසිකාර ද (මෙසේ) පැවැත්විය යුතු.

 

(1) මේ ශරීරය තැවෙන තේජෝ ධාතුව මෙහි ම පිහිටි සිතිවිලි නැති ආත්මයක් නැති. එහෙයින් මැ සත්ත්‍වයකු නො වූ තවන ස්වභාව ඇති වෙන ම කොටසකැ යි මෙනෙහි කළ යුතු ය.

 

එසේ ම

(2) ශරීරය දිරවන තේජෝ ධාතුව ද

(3) දවන තේජෝ ධාතුව ද

(4) කන - බොන දැය දිරවන තේජෝ ධාතුව ද,

 

මේ ශරීරයෙහි පිහිටි වෙන මැ කොටසකැයි ද මෙනෙහි කළ යුතු.

 

තවද වායෝ ධාතු කොටස් ද, මෙසේ මැ මෙනෙහි කළ යුතු.

(1) උඩට නැගෙන වාතයෙහි ද, එසේ මැ නුවණ පිහිටුවිය යුතු ය.

(2) යටට බස්නා වාතය,

(3) කුසෙහි පවත්නා වාතය,

(4) කොෂ්ටයෙහි පවත්නා වාතය,

(5) ශරීරාවයන් අනු වැ පවත්නා වාතය,

(6) ආශ්වාස ප්‍ර‍ශ්වාස වාතය දැ යි, මෙකී වාත කොටස් වෙන වෙන මැ ගෙන මෙසේ නුවණින් සලකා උඩට නැගෙන වාතය නම් මේ ශරීරයෙහි වෙන මැ පිහිටි සිතිවිලි නැති (අව්‍යාකෘත ආත්මයක් නැති සත්ත්‍වයකු නොවූ) පිරෙන ස්වභාව ඇති වායෝ ධාතුවැ යැ යි මෙනෙහි කළ යුතු.

 

එසේ මැ අධොගම, කුච්ඡිසය, කොට්ඨසය, අඞ්ගමඞ්ගානු සාරී, අස්සාස පස්සාස, වාත කොටස් පිළිබඳව ද සැලකිය යුතු.

 

මෙසේ මෙනෙහි කරන යෝගාවචරයාහට ධාතු ප්‍ර‍කට වේ මැයි. ඒ ධාතුන් මැ නැවත නැවත මෙනෙහි කරන්නාහට යට කී සේ උපචාර සමාධිය උපදනේ ය.

 

මෙසේ ද භාවනා කරන යෝගාවචරයාහට කමටහන සමෘද්ධ නො වූයේ නම් ඔහු විසින් සලක්ඛණ සඞ්ඛෙප වශයෙන් භාවනා කළ යුතු ය.

 

3. ඒ මෙසේ යි:- කෙස් ආදි විසි කොටසෙහි තද ගතිය පඨවිධාතුයැ යි ද, බැඳෙන ගතිය ආපෝධාතුයැ යි ද, පැසවන ගතිය තේජෝධාතුයැ යි ද, පිපෙන ගතිය වායෝධාතුයැ යි ද, වෙන් කළ යුතු.

 

පිත්තාදි දොළොස් කොටසෙහි බැඳෙන ගතිය ආපෝධාතු යැ යි ද, පැසවන ගතිය තේජෝධාතුයැ යි ද, පිපෙන ගතිය වායෝධාතුයැ යි ද, තද ගතිය පඨවිධාතුයැ යි ද වෙන් කළ යුතු.

 

සන්තාපනාදි සතර කොටසෙහි මුහුකුරවන ගතිය තේජෝධාතුයැ යි ව්‍යවස්ථා කළ යුතු. එහි මැ පවත්නා පිපෙන ගතිය වායෝ ධාතුයැ යි ද, තද ගතිය පඨවි ධාතුයැ යි ද, බැඳෙන ගතිය ආපෝධාතුයැ යි ද මෙනෙහි කළ යුතු.

 

උද්ධඞ්ගමාදි සය කොටසෙහි පිපෙන ගතිය වායෝ ධාතු යැ යි ව්‍යවස්ථා කළ යුතු. එහි මැ තද ගතිය පඨවි ධාතුයැ යි ද, බැඳෙන ගතිය ආපෝ ධාතුයැ යි ද, පැසවන ගතිය තේජෝ ධාතුයැ යි ද මෙනෙහි කළ යුතු.

 

මෙසේ ධාතුන් ලක්‍ෂණ වශයෙන් ව්‍යවස්ථා කරන්නාවූ ඒ යෝගාවචරයා හට ධාතුහු ප්‍ර‍කට වෙති. ඒවා නැවත මෙනෙහි කරන ඕහට පෙර කී සේ උපචාර සමාධිය උපදී.

 

යමකුට මෙසේත් කමටහන සමෘද්ධ නො වේ නම් ඔහු විසින් ස්වලක්‍ෂණ බෙදීම් වශයෙන් මෙනෙහි කළ යුතු ය.

 

4. ඒ මෙසෙයි:- පෙර කී සේ කේසාදි දෙසාලිස් (42) කොටස් වෙන් කොට කේසයන් හි තද ගතිය පඨවි ධාතු යැ. දියාරු ගතිය ආපෝ ධාතු යැ, පැසවන ගතිය තේජෝ ධාතු යැ, සෙලවෙන ගතිය වායෝ ධාතුයැ යි ද, සියලු කොටස්හිමැ එක එක කොටසක් පාසා සතර ධාතුන් විභාග කටයුතු වේ. මෙසේ විභාග කරන ඕහට ධාතුහු ප්‍ර‍කට වෙති. ඒවා නැවත නැවත ආවර්ජනා කරන්නා හට මෙනෙහි කරන්නා හට, පෙර කී සේ උපචාර සමාධිය උපදි. මෙසේ මෙහි එක්සිය හැටඅටක් (168) ධාතු විභාගය කීයේ වෙයි.

 

තවද ක්‍ර‍මයෙකි:-

(1) වචනාර්‍ථ      වශයෙන් ද,

(2) කලාප             ”

(3) සුණු               ”

(4) ලක්‍ෂණාදි                ”

(5) සමුට්ඨාන                ”

(6) නානත්ත - එකත්ත ”

(7) විනිර්භෝග-අවිනිර්භෝග  ”

(8) සභාග-විසභාග           ”

(9) අජ්ඣත්තික-බාහිර       ”

(10)    සංග්‍ර‍හ                ”

(11)    ප්‍ර‍ත්‍යය                ”

(12)    අසමන්නාහාර         ”

(13)    ප්‍ර‍ත්‍යය විභාග         ”

ධාතූහු වැඩිය යුතු වෙති.

 

(1) සියල්ලට පළමු කමටහන උගෙනීම වචනයෙන් මැ වන්නේ ය. එ මගින් මැ අර්‍ථය ද, දතමනා හෙයින් වචනාර්‍ථ වශයෙන් පළමුව වැඩිය යුතු ය.

 

ඒ මෙසේයි:- පඨවි පතළාවූ අර්‍ථයෙන් පෘථූල බැවින් පුථවි නම් වේ. හේම නිරුක්තික්‍ර‍මයෙන් “ථ” කාරයට “ඨ” කාරාදේශ වැ “උ” කාරයට “අ” කාර වැ “පඨවි” යයි සිද්ධ වේ. අවශේෂ භුතත්‍ර‍යට ද ප්‍ර‍තිෂ්ඨාධාර බැවින් වැටහේ යන අර්ථයි.

 

ආපො - පැතිරෙන්නේ ය, පැමිණෙන්නේ යැ යන අර්‍ථයෙන් ආප නම්. මේ අර්‍ථද්වයය (ආපෝ ධාතු අධික ශුද්ධාෂ්ටක සංඛ්‍යාත) සසම්භාර ආපය වශයෙන් කියන ලදී. ඒ සසම්භාර ආප නම් වූ ජලය වැගිරෙන හෙයින් සසම්භාරපෘථිවි සඞ්ඛ්‍යාත පොළවේ ගලා බැසීම් වශයෙන් ඒ ඒ තැනට පැමිණෙන්නේ ය.

 

තව ද වැගිරෙන ස්වභාව ලක්‍ෂණය යැ, එය සහජාත අන්‍යොන්‍ය නිශ්‍ර‍යාදි ප්‍ර‍ත්‍යය භාවයෙන් ශේෂ භුතත්‍ර‍ය නිස්‍යන්‍දන භාවයෙන් ඔවුනොවුන් බඳිමින් හුණුවී යා නොදී, විසිර යා නොදී, පැතිරෙන - පැමිණෙන හෙයින් ආප නම් වේ. ඵරුස ආකාරය, පැවසෙන ආකාරය, වියළුවන ආකාරය, යන තුන් ආකාරයෙන් යුක්ත වූ සෙසු මහාභූතයන් විසින් බොනු ලබන්නාක් මෙන් පවතී. එහෙයින් මැ ‘වඩා වර්ධනය කෙරේනුයි’ ආප නම් වේ.

 

තේජෝ - තියුණු බැවින් අන්‍ය භුතත්‍ර‍ය හුණු ගන්වන හෙයින් තේජ නම් වේ.

 

වායෝ - කම්පාකරන (සොළවන) හෙයින් වායු නම් වේ.

 

සෙසු භුතාත්‍ර‍ය පිහිටි තැනින් අන් තැනෙක ඉපදීමට හේතු භාවයෙන් යවන හෙයින් වායෝ නම් වේ. මේ විශේෂාර්‍ථ යැ.

 

සාමාන්‍ය අර්‍ථය මෙසේයි:- සතර මහා භුතයෝ කැකුළු බව, වැගිරෙන බව, උණුසුම් බව, සැලෙන බව යන තමා තමා අයත් ලක්‍ෂණ දරන හෙයින් ද, දුක් දෙන හෙයින් ද ධාතු නම් වෙති.

 

විශේෂ - තීර්‍ථකයන් විසින් කල්පනා කරන පද ‘ප්‍ර‍කෘතිය’ ‘ආත්මය’ යනාදිය ස්වභාව වශයෙන් ඇත්තේ නෙවෙයි. මේ පෘථිවි ආදිය ඒ විපරීත කල්පනා මාත්‍ර‍යක් මැ නොවැ, ස්වභාව වශයෙන් තම තමා අයත් ලක්‍ෂණය පෙර කී සේ ධරාම යැ එහෙයි් මැ ධාතු නම.

 

එසේ මැ අනේක ප්‍ර‍කාර වූ ජාත්‍යාදි සංසාර දුක්ඛය විධානය කරන හෙයින් ද ධාතු නම් වේ.

 

නිදර්‍ශන - යකඩ ලෝහ ආදි ධාතුන් නිසා (අයො) වානේ ලොහාදිය සාදන්නකු මෙනි.

 

අනල්ප වූ දුක ඇති කරන අර්ථයෙන් හා වශයෙහි නො පවත්නා අර්ථයෙන් ද, ධාතු නම් වේ.

 

ඒ මෙසේ යි:- සතර මහා භුතයන් කරණකොට ඇති සත්ත්‍වයා ඒ සංසාර දුක්ඛය නැවත නැවත ඇති කෙරේ එසේ කරනුයේ ද, මේ ධාතුන් මනාව නො පිහිටන හෙයිනි.

 

එසේ ම නිජ්ජිව අර්ථයෙන් ද ධාතු නම.

 

ඡද්ධාතුරොයං භික්ඛු පුරිසො”[382] යනාදීන්හි ජීවය යන සංඥාව උගුළුවනු පිණිස ධාතු දේශනාව වදාළ සේක.

 

මෙසේ අසාධාරණ - සාධාරණ වශයෙන් වචනාර්‍ථ මුඛයෙන් ධාතුන්ගේ ස්වකීය ලක්‍ෂණය මැ ප්‍ර‍කාශ වේ.

 

එ හෙයින් පෙර කී සේ වචනාර්ථ මුඛයෙන් ධාතුන් නුවණින් මෙනෙහි කළ යුතු ය.

 

(2) (මෙසේ වචනාර්ථ වශයෙන් දත්තහු විසින්) වර්‍ණය, ගන්‍ධය, රසය, ඔජාය, පඨවිය, ආපය, තේජසය, වාතය යන මේ කරුණු අට එක්වීමෙන් ගැළපුණු කලාප වශයෙන් මෙනෙහි කළ යුතු ය.

 

එසේ කලාප වශයෙන් (කේසාදි) ඒ ඒ කොටස් වෙන් කොට ගත් කල කේසාදි සම්මතය නො ලැබේ.

 

ලෝමාදිය ද මෙසේ මැයි.

 

ඒ කේසයෙහි කම්මසමුට්ඨාන විෂයෙහි ජීවිතින්‍ද්‍රියහාභාවය ද, ශුද්ධාෂ්ටකය හා එක්කොට ගත් කල දස දෙනෙකුන් ගේ කලාපය වේ. (එය කේස ය මුල්කොට ඇත්තේ ය.) ලෝමාදියෙහි ද මෙසේ යි.

 

තව ද අසිතාදි පරිපාචක තේජෝ කොට්ඨාසය නව ධර්‍ම කලාපය ද වේ. එසේ ම කේසාදි කොටස් අට-නව-දස කලාප වශයෙන් සමූහ වේ. එසේ වන්නා මේවා පඨවි ධාතු කොටස් වශයෙන් කීයේ ඒ උස්ස ද (අධික) හෙයිනි.

 

ඒ එසේමැ යි:- මේ ධාතුමනස්කාර කර්‍මස්ථානය හුදෙක් සත්ත්‍ව සිඳීම පිණිස මැ වදාරන ලදි. මෙසේ කලාප වශයෙන් ධර්‍ම විනිර්‍භොගය ඒකාන්තයෙන් මැ සත්ත්‍ව සංඥාව සිඳීමට හේතුවන හෙයින් මැ ඒ ඒ කේසාදියෙහි කලාප වශයෙන් ධර්‍ම විනිර්‍භොගය දතයුතු මැ වේ.

 

විස්තරය - ඒ දෙසාලිස් (42) කොටස් අතුරින් ආමාසය ද, මළය ද, සරව ද, මුත්‍ර‍ය ද, උතු සමුට්ඨාන යැ.

 

ආහාරාදිය පැසවන තේජෝ ධාතුව හුදු කර්‍ම සමුත්‍ථාන ය.

 

ආශ්වාස-ප්‍ර‍ශ්වාස වාත චිත්ත සමුත්‍ථාන යැ මේ කොටස් සය එක එක කරුණින් උපදනේ යි.

 

ඩහදිය, කඳුළු, කෙළ, සොටු යන සතර උතු-චිත්ත දෙකින් හටගන්නා හෙයින් ද්විසමුට්ඨාන යැ, සෙසු දෙතිස් කලාප චතුසමුට්ඨාන යි.

 

මොවුන් අතුරින් ආහාරාදිය පැසවන තේජෝ ධාතුවෙහි එක මැ ජීවිත නවක කලාපයක් වේ. ශුද්ධාෂ්ටකය හා ජිවිතින්‍ද්‍රිය ද වශයෙනි. සෙසු ඒක සමුට්ඨාන විෂයෙහි උතු සමුට්ඨාන හෝ චිත්ත සමුට්ඨාන හෝ එක එක අෂ්ටකය. ද්විසමුට්ඨාන විෂයෙහි සෘතු-චිත්ත සමුට්ඨාන වශයෙන් අෂ්ටක දෙක දෙක වේ. චතු සමුට්ඨාන විෂයෙහි සෘතු, චිත්ත, ආහාර සමුට්ඨාන වූ අෂ්ටක තුන වේ. සෘතු-චිත්ත සමුට්ඨාන විෂයෙහි සද්දනවකය ද වේ. පරිපාචන තේජෝ ධාතුව හා අස්සාස පස්සාස වායො ධාතුව හැර සෙසු තේජෝ වායො කොටස් අටෙහි ජීවිතින්‍ද්‍රිය බහා ජීවිත නවකය වේ. සෙසු සූවිසි කොටස් හි කායභාව දසක සහිත වේ. චක්ඛාදි කොටස් පසෙහි චක්ඛු-සොත-ඝාන-ජිවහා-වත්‍ථු දසක සහිත වේ යයි මෙසේ පරිපූර්‍ණායතන රූප කායයෙහි භේදය නො සලකා ඒකත්‍වයෙන් ගන්නා රූප කලාප එක්සිය තෙසැත්තෑ (173) කෙනෙක් වෙති. රූප විභාග වශයෙන් එක්දහස් පන්සිය එක් (1501) රූපයක් වේ.

 

කොට්ඨාසයන් ගේ අවයව විභාගයෙන් වූ කලි ඒ අවයවයන් ගේ කලාප භේදය ගන්නා කල රූප ධර්‍මයන් ගේ අසඞේඛය්‍ය බව දත මනා ය.

 

මෙසේ ධර්‍ම විභාගයෙන් අනේක භේද භින්න වූ මේ දෙසාලිස් කොටස් උත්සදග්‍ර‍හණයෙන් (වැඩි ධාතුන්ගේ වශයෙන්) ව්‍යවස්ථා කට යුතු ය.

 

මේ ධාතුන් ගේ කලාප වශයෙන් මෙනෙහි කළ යුතු සේයි.

 

(3) සුණු වශයෙන් ආරෝහ පරිණාහ විසින් මධ්‍යම ප්‍ර‍මාණ වූ ශරීරයෙක ලැබෙන සුණු විසුණු වී පරමාණු බවට ගිය පෘථිවි ධාතූහු ද්‍රෝණයක් පමණ වේ.

 

ඒ මෙසේ යි :- අඟලින් අටෙන් එකක් යවයෙක් වේ. යවයෙන් අටෙන් එකක් ඌකාවෙක් වේ. ඌකාවෙක් අටෙන් එකක් ලික්ඛාවෙකි. ලික්ඛාවෙන් අටෙන් එකක් රථරෙණුවෙකි. රථරෙණුවෙන් අටෙන් එකක් තජ්ජාරියෙකි. තජ්ජරියෙන් අටෙන් එකක් අණුවෙකි. අණුවෙකින් අටෙන් එකක් පරමාණුවෙකි.

 

අටුවා මතය :- මධ්‍යම පුරුෂයාගේ අඟුලින් සතිසෙන් එකක් ඌකා එකක් වේ. ඌකාවෙන් සතිසෙන් එකක් ලික්ඛාවෙකි. ලික්ඛාවෙන් සතිසෙන් එකක් රථරේණුවෙකි. රථරේණුවෙන් සතිසෙන් එකක් තජ්ජාරියෙකි. තජ්ජාරියෙන් සතිසෙන් එකක් අණුවෙකි. අණුවෙන් සතිසෙන් එකක් එක් පරමාණුවෙකි. එය ආකාශ කොටසට මැ ඇතුළත් වේ. මසැසට විෂය නොවේ. දිවැසට ගෝචර වේ. මෙහි ගන්නා ලද්දේ ඒ පරමාණු මාත්‍ර‍ය යැ. එසේ සුණු වූ පෘථිවි ධාතු ද්‍රෝණයක් පමණ වේ. ද්‍රොණයක් නම් සොළොස් නැළියෙක් වේ.

 

ඒ මෙසේ යි:-    ප්‍ර‍කෘති පුරුෂයෙකු ගේ මිටු සතරෙක් එක් පතෙකි,

           ඒ පත සතරෙක් නැළියෙකි.

           ඒ නැළි සොළසෙක් ද්‍රෝණයෙකි.

 

ඒ ද්‍රෝණය, මගධ නැළිය පමණ වේ. ඒ මගධ නැළියෙන් දොළොස් නැළියක් පමණ පෘථිවි ධාතු සුණු මේ සිරුරෙහි වේ. එයින් අඩක් පමණ වූ ආපෝ ධාතුවෙන් එය නොවිසිරී සිටිනාසේ හාත්පසින් බැඳි පිඩුකොට ගන්නා ලද්දේ වේ. ඒ ආපෝ ධාතුවෙන් තෙත්වීමට හෝ වැගිරීමට නො යන සේ තේජෝ ධාතුවෙන් රක්නා ලද්දේ වෙයි. එය සංඝාත වාතයෙන් අතිශයින් පුරවන ලද්දේ වෙයි. මෙසේ ඒ සියුම් වූ රජස් වූ පෘථිවි ධාතුව නො විසිරෙන සේ නො විහිදෙන සේ හාත්පසින් බැඳීම ය, පැසීමය, සැලීම ය යන කෘත්‍යය ඇති ආපෝ - තේජෝ - වායෝ - ධාතුන්ගෙන් උපකාර ලැබ සෙනහයෙන් තෙමන ලද, තේජසින් මුහුකුරුවන ලද, වාතයෙන් හම්මන ලද, පිට සුන්නක් සේ පිඩු වී ඝන වී ස්ත්‍රී පුරුෂ ලිංගාදි විසින් නන් අයුරින් ගත යුතු බවට පැමිණේ. එසේ මැ කුඩා-මහත් දිග-කොට ස්ථිර-තද යනාදි ස්වභාවය ද පහළ කරන්නේ ය.

 

මෙහි වූ කලී දියාරු බවට ගියාවූ ආපෝ ධාතුව ද පෘථිවි ධාතු සුණු හාත්පසින් එක්කොට බැඳ පෘථිවි ධාතුවෙහි පිහිටයි. තේජසින් රැකෙයි. වාතයෙන් හැම්මෙයි. ඇතුළතින් පිටතට හෝ පිටතින් ඇතුළතට හෝ යා නොදී නවත්වයි. එ හෙයින් නො වැගිරී වහනය නො වී පිණ පිණා සිටින බව දක්වයි.

 

ආහාර පානාදිය පැසවන ප්‍ර‍කෘති උෂ්ණය ද, ජඨරාග්නිය ද, හටගැනීමට හේතු වූ කර්‍මජ තේජෝ ධාතුව අනුභව කළ ආහාරය මනා සේ පැසවමින් රස බවට පමුණුවමින් මේ සිරුර ද පැසවමින් තියුණු කෙරෙමින් වර්‍ණ සම්පත්තිය ද උපදවයි.

 

කර්‍මය උපස්ථම්භක කොට ඇති චිත්තප්‍ර‍සාදය කරණකොට ශරීර වර්‍ණ සම්පත්තියට තේජෝ ධාතුව විශේෂ ප්‍ර‍ත්‍ය වේ. ‘උතු ආහාර සමුට්ඨාන රූපයට එය විශේෂ වේය’යි කියනු කිම?

 

එයින් මැ පැසවන ලද මේ සිරුර කුණුවීමට නො පැමිණෙයි. මේ සිරුරෙහි සෙසු භූතත්‍ර‍ය ය සෙලවීමට හා හැම්මීමට පමුණුවන වායො ධාතුව, පෘථිවි ධාතුවෙහි පිහිටා ආපෝ ධාතුවෙන් සංග්‍ර‍හ ලැබ තේජෝ ධාතුවෙන් ආරක්‍ෂා ලැබ මේ සිරුර (විත්‍ථම්භනය) හැම්මීම කරයි.

 

එයින් හැම්මුණු මේ සිරුර බිම නො හෙයි. සෘජුව සිටී. අනෙක් වායෝ ධාතුවෙකින් පහරන ලද මේ කය යාම්, ඉඳීම්, සිටීම්, නිදීම් යන ඉරියව්වල විඤ්ඤත්තිය දක්වයි. අත්-පා හකුළුවයි. දික් කෙරෙයි. ලෙළවයි.

 

මෙසේ ස්ත්‍රී - පුරුෂාදි භාවයෙන් බාලයන් රවටන මායා රූපයක් වැනි මේ සිරුර සූත්‍ර‍ බලයෙන් පවත්නා යන්ත්‍ර‍යක් සේ චිත්ත බලයෙන් ධාතුමය යන්ත්‍ර‍ය පවත්නේම ය.

 

මෙසේ සිණු වශයෙන් මෙනෙහි කළ යුතු.

 

ලක්‍ෂණාදි වශයෙන් :- ලක්ඛණ, රස, පච්චුපට්ඨානයෝ කවරහු ද (සතර මහාභූතයන් ගේ ලක්‍ෂණාදිය පෙර කීයේ නමුදු දැන් එය නිරවශේෂයෙන් දක්වා කර්‍මස්ථාන විනිශ්චය දැක්වීම පිණිස මේ ආරබ්ධ යැ)

 

පඨවි ධෘතුව තද ගතිය ලක්‍ෂණය යැ, සහජාත ධර්‍මයන්ට පිහිටවීම් කෘත්‍යය යැ, ඔවුන්ට පිහිටවීම නුවණට වැටහෙන ආකාරයයි.

 

ආපෝ ධාතුව වැගිරෙන ලක්‍ෂණය යැ, සහජාත ධර්‍ම වැඩීම එහි කෘත්‍යය යැ. (නහනසුන්නට ජලය සේ) එක්වැ උපදනා සෙසු ධර්‍ම පිඩුකිරීම වැටහෙන ආකාරය යි.

 

තේජෝ ධාතුව උණුසුම් ලක්‍ෂණය යැ. එක්ව උපදනා සෙසු ධර්‍ම මිහිකිරීම කෘත්‍යය යැ. ලාකඩ ලෝහාදියට ගින්න සේ එක්වැ උපදනා සෙසු ධර්‍ම මොළොක් කිරීම වැටහෙන ආකාරය යි.

 

වායෝ ධාතුව පිරවීම ලක්‍ෂණය යැ. සෙලවීම කෘත්‍යය ය. (බීජයෙන් අංකුරය සේ භූත සමූහය පිහිටි තැනින් අනෙක් තැනෙකැ ඉපදීමට හේතු වශයෙන්) සැලීම වැටහෙන ආකාරය යි. මෙසේ ලක්‍ෂණාදි වශයෙන් මෙනෙහි කටයුතුයි.

 

විශේෂ - ධම්මසඞ්ගණී ධම්මුද්දෙස චාර වර්‍ණනාදියෙහි[383] රසාදීන්ගේ වශයෙන් අන්‍යයන්ට ප්‍ර‍ත්‍යය වන බව් දක්වා ඔවුනට ද ප්‍ර‍ත්‍යය ඇති බව දක්වන පිණිස පාදට්ඨානය දක්වන ලදී. මෙහි වනාහි සතුන් ගේ අනන්‍ය සාධාරණ වූ විෂෙයා ගේ විභාවනය පරමකොට ඇති චෝදනාවෙහි අන්‍ය ධර්‍ම වූ පදට්ඨානය උද්ධරණය නො කරන ලදි.

 

(5) සමුට්ඨාන වශයෙන් :- පඨවි ධාතු ආදීන් ගේ විස්තර වශයෙන් දැක්වූ දෙසාලිස් (42) කොටස් අතුරින් නොපැසුණු ආහාර (උදරියං) - පැසුණු ආහාර (කරීසං) සැරව-මුත්‍ර‍ යන සිවු කොටස සෘතුවෙන් මැ හටගනී. කඳුළු - ඩහදිය - කෙළ - සොටු යන මේ සිවු කොටස (සෘතු-චිත්ත) දෙකින් කලෙක සෘතුවෙන් ද, කාලෙක චිත්තයෙන් ද උපදී.

 

ආහාරාදිය පැසවන ජඨරාග්නිය කර්‍මයෙන් මැ උපදී. ආශ්වාස-ප්‍ර‍ශ්වාස වාතයෝ සිතින් මැ උපදනාහ. සෙසු සියලු පඨවි කොටස් සොළස ය, ආපෝ කොටස් අට ය, තේජෝ කොටස් තුන, වායෝ කොටස් පස ය, යන දෙතිස් (32) කොටස කර්‍මාදි සතරින් මැ උපදී.

 

විශේෂ :- කේසාදීන් ගේ මස් තුළ පිවිසි කොටස කර්‍ම, ආහාර, චිත්ත තුනින් උපදී.

 

(6) නානත්ත - එකත්ත වශයෙන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන අයුරු මෙහි ධාතුන් ගේ ඔවුනොවුන්ට විසදෘශභාවය, නානාත්‍වය වේ. සමාන බව ඒකත්‍වය වේ.

 

ඒ මෙසේයි :- සියලු ධාතුන් ගේ තම තමන්ට මැ නියත වූ ලක්‍ෂණ, කෘත්‍ය, ප්‍ර‍ත්‍යුපස්ථානාදින් ගේ වශයෙන් වෙනස් බව වේ.

 

පෘථිවි ධාතුහු ගේ ලක්‍ෂණාදිය අනෙකක. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුන්ගේ ද, එක එකේ ලක්‍ෂණාදිය අන්‍යය යැ, එසේ මැ කර්‍ම සමුත්‍ථානාදි වශයෙන් ද වෙනස් වූ ඔවුන්ගේ රූපය මහභූතය, ධාතුය, අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යන ආකාර වශයෙන් සමානත්‍වය වේ. සියලු ධාතුහු හීතාදි විරෝධ ප්‍ර‍ත්‍යයන් නිසා වෙනස් වන ස්වභාව ඇත්තාහු මැයි. ඒ ස්වභාව නො ඉක්ම වූ හෙයින් මැ රූප නම් වන්නාහ.

 

මහත් වැ පහළවීම් ආදි කාරණයෙන් මහා භූත නම් වෙති.

 

ඒ මෙසේයි :- මේ පෘථිවි ධාතු ආදිය

 

1.  මහත් වැ පහළවන       හෙයින් ද

2.  මහා භූතයන් හා සමාන  ”

3.  මහත් පෙරහැර ඇති     ”

4.  මහත් විකාර ඇති        ”

5.  මහත් භූත ඇති          ”

මහා භූත නම් වෙති.

     

1. මේ මහත් වැ පහළවීම සසම්භාර ධාතු වශයෙන් මේරු, සමුද්‍ර‍, පොළෝ, ආදි ආනුපාදින්නසන්තානයෙහි ද, දිව්‍ය, මනුෂ්‍ය, යක්ෂ, රාක්ෂස ආදි උපාදින්න සන්තානයෙහි ද වේ.

 

එහි :-     “දුවෙ සත සහස්සානි - චත්තාරි නහුතානිච

      එත්තකං බහලත්තෙන - සඞ්ඛාතායං වසුන්‍ධරා”යි

 

“මේ මහ පොළොව බොල් බැවින් දෙලක්‍ෂ සතලිස් දහසක් යොදුන් වේ” යැයි කීසේ මහත් වැ පහළ වේ. මේ (බුද්ධානුස්සති නිර්‍දෙශයේ විස්තර සේ කියන ලදි[384]) උපාදින්න සිරුරෙහිදු මස්, කැසුබු, දෙව්, අසුර ආදීන් ගේ තුන් ගව් පමණ ශරීර වශයෙන් මහත් වැ පහළ වේ. එහෙයින් මැ:-

 

“සනති භන්නෙ මහා සමුද්දෙ යොජනසතිකාපි අත්තභාවා”[385] යි, මහ මුහුදෙහි සියක් යොදුන් අත් බැව් ඇති සත්ත්‍වයෝ ද ඇතැ’යි වදාළහ.

 

2. මේ සතර මහා භූතයෝ

 

(i) මැණික් නො වූ මැ ජලය මැණිකක් මෙන් කොට ද, රුවන් නොවූ මැ කැට රන් මෙන් කොට ද, දක්වති. එසේ මැ යක්‍ෂ නොවූයේ ම යක්‍ෂණී නො වූවාම යක්‍ෂයකු යක්‍ෂණියක කොට දක්වන සේ ද සතර මහා භුතයෝ මැ නිල්වන් නො වූ මැ උපාදා රූපය නිල්වන් කොට ද, රන්වන් - රතුවන් - සුදුවන් - නො වූ යේ ම රන්වන් - රතුවන් - සුදුවන් - කොට ද, දක්වන හෙයින් මායාකාර මහාභුත සමාන හෙයින් මහාභුතයෝ නම් වෙති.

 

(ii) යක්‍ෂාදි මහාභුතයන් අල්ලාගත්තවුන් ගේ ශරීරය ඇතුළත හෝ පිටත හෝ ඔවුන් ගේ සිටීම නො දත හැකි වේ. ‘ඔවුන් නිසා නො සිටිතැ’යි ද නො දත හැකි වේ. එසේ ම මේ මහාභුතයන් ද ‘ඔවුනොවුන් ඇතුළත හෝ පිටත හෝ සිටිතැ’යි නො දත හැකි වේ. ‘ඔවුනොවුන් නිසා නො පවත්නවුන් නො වෙතැ’යි ද නො දත හැකි යෙහින් යක්‍ෂාදි මහාභුතයන් සමාන බැවින් ද මහාභුතයෝ නම් වෙති.

(iii) එසේ ම මනාප වර්‍ණ සංස්ථාදීන් තමාගේ බියකරු ස්වභාවය වසාගෙන යක්‍ෂිණීන් සත්ත්‍වයන් රවටන්නා සේ මේ මහාභුතයෝ ද ස්ත්‍රී-පුරුෂ ශරීරයෙහි මනහර ශරීර වර්‍ණයෙන්, අත් - පා - ඇඟිලි - බැම නැටවීම් ආදියෙන් තමාගේ දැඩි බැව් ආදි ස්වභාවය වසා සත්ත්‍වයන් රවටන හෙයින් ද, මහාභුතයෝ නම් වෙති.

 

3 මහාත් වූ ප්‍ර‍ත්‍යයෙන් පරිහරණය කළ යුතු හෙයින් මහා පෙරහර ඇති හෙයින්මහාභුතයෝ නම් වෙති. (මේ මහාභුතයෝ දිනපතා බොහෝ බත්-පිළී ආදියෙන් පැවැත්විය යුත්තෝ ය.)

 

4 තෘෂ්ණා-දෘෂ්ටීන් යුත් කර්‍මයෙන් නිපන් හෙයින් උපාදින්න නම් වූ ද, එසේ නොනිපන් හෙයින් අනුපාදින්න නම් වූ ද, මේ භුතයන් ගේ මහා විකාර ඇති හෙයින් ද, මහාභුත නම ඒ මෙසේ යි:- අනුපාදින්නකයන් ගේ කල්ප විනාශයෙහි විකාරය ප්‍ර‍කට වේ.

 

කප් නැසුම ගින්නෙන් - දැවී වැනැසෙත මේ ලොව

පොළොවින් නැගී ගිනි දැල් - බඹලොව තෙක් මැ පැතිරේ

 

ජලයෙන් ලොව නැසෙත - කප් කෙළ රුදුරු වැස්සේ

කෙළ සුවහසක් සක්වළ - විලිනවැ යේ කරදියෙන්

 

සුළඟින් නැසෙත - කෙළ සුවහසක් සක්වළ

කප් කෙළ රුදුරු පවතින් - විලිනවැ කෙමෙන් වැනසේ

 

උපාදින්න භුතයන් ගේ ධාතුක්‍ෂොභයෙන් විකාරය ප්‍ර‍කට වේ.

සැපුව කට මුව[386] සපු - කය දරකඩෙව් තද වේ

 

පස් දා[387] කිපි කල එසේ - සිරුර තද වේ දැඩි සේ

සැපුව කුණු මුව[388] සපු - සියල් කය කුණුවන සේ

 

අප් දා[389] කිපි කල සිරුර - කුණු වැ කුණු වැගිරෙන්නේ

සැපුව ගිනි මුව[390] සපු - කය දැඩි වැ හුණු වන සේ

 

තෙද දා කිපි කල සිරුර - හුනු වේ ගිනි ඇවිලි සේ

සැපුව සැති මුව[391] සපු - කය කඩ සිඳෙන මෙන්

 

සුළඟ කිපි කල සිරුරේ - සිඳේ සැතින් සිඳින සේ

මෙ සේ මහාවිකාර ඇති යෙහින් මහාභුත යැ.

 

මේ සතර ධාතුහු තද බව ය, වැගිරෙන බව ය, උණුසුම් බව ය, සැලෙන බව ය යන ලක්‍ෂණයන් ධරන හෙයින් ද, දුක් දෙන හෙයින් ද, දුක් විධාන කරන හෙයින් ද මෙකී ධාතු ලක්‍ෂණ නො ඉක්ම වූ හෙයින් ද, තමා අයත් ක්‍ෂණයට සුදුසු සේ සතළොස් චිත්තක්‍ෂණායුෂ්ක කාලයක් පැවත බිඳෙන අර්‍ථයෙන් ද, අනිත්‍යය හ. උත්පාද විනාශ දෙකින් පෙළෙන අර්‍ථයෙන් දුක්ඛය හ, ආත්ම සාරයෙන් සිස් හෙයින් ආනාත්මය හ යි මෙසේ සියලු ආකාරයෙන් එක් වැනි වෙති.

 

මෙසේ නානාත්‍ව - එකත්‍ව වශයෙන් මෙනෙහි කටයුත්තා හ.

 

6 සතර ධාතු එක් වැ උපදනාවූ ද, එක් වැ පවත්නාවූ ද, සමාන කාලයෙහි ලැබිය යුතුවූ ද, (යටත් පිරිසෙයින්) ශුද්ධාෂ්ටක කලාපයෙහි ද, වෙන මැ නො බෙදිය හැකි වේ. එසේ මැ පෘථිවි ධාතුව සෙසු ධාතුන්ට ප්‍ර‍තිෂ්ඨා වශයෙන් යම් තැනෙක පවතී නම් එතන්හි මැ හාත්පසින් බැඳීම ය, පැසවීම ය, සැලීම ය යන කෘත්‍යයන් ගේ වශයෙන් සෙසු ධාතු ද ලක්‍ෂණ වශයෙන් බෙදා දැක්විය හැකි වේ. මෙසේ විනිර්‍භොග - අවිනිර්‍භොග වශයෙන් ද මෙනෙහි කළ යුතු.

 

7 මොවුනතුරිනුදු පඨවී - ආපෝ දෙක බර බැවින් ‘ඔවුනොවුන් හා සභාග යැ’ තෙජො - වායෝ දෙක සැහැල්ලු බැවින් ‘ඔවුනොවුන් විසභාග යැ’යි මෙසේ සභාග විසභාග හෙයින් ද මෙනෙහි කළ යුතු ය.

 

ප්‍ර‍ශ්නයෙකි:- කර්‍කශ ය, සියුම් ය, රළු ය, බර ය, සැහැල්ලු යැ යි පඨවී ධාතුවෙහි ද, සැහැල්ලු බව ඇත්තේ නොවෙ ද? ජලයෙහි ද එසේ ම සැහැල්ලු බව ඇත්ම ය. එසේ හෙයින් පෙර කී බර බව කෙසේ යෙදේ ද?

 

පිළිතුර:- ඉතා බර වූ පඨවී ධාතුව සඳහා බර අඩු පෘථිවි ධාතුව අප්‍ර‍ධාන වශයෙන් එසේ කී.

 

නිදර්‍ශන:- උෂ්ණය අඩු වූ තේජෝ ධාතුවෙහි සිහිලස මෙනි.

 

තවද ප්‍ර‍ශ්නයෙකි:- එසේ වන්නා ලහුතා රූපය කෙසේ වේ ද?

 

පිළිතුර:- ලහුතා රූපය නම් නිෂ්පන්න රූපයේ අවස්ථා භේදයෙකි. පරමාර්‍ථ වශයෙන් පරිච්ඡේද, විකාර, ලක්‍ෂණ, රූප නො ලැබේ. එහි සැහැල්ලු වශයෙන් පවත්නා අවස්ථා භෙදය ගැනේ. පරමාර්‍ථ වශයෙන් පවත්නා බර බව ප්‍ර‍ථම ද්වය ය ගරු භාවයෙන් සභාග යයි කී.

 

8 සත්ත්‍ව සන්තානයෙහි ඇතුළත් පඨවි ආදි සතර ධාතුහු ‘චක්‍ෂුරාදි ෂඩ් විඥාන වස්තුන්ට හා කාය වාක් විඥප්ති දෙකට ද, ඉත්‍ථි පුරිස ජීවිතින්‍ද්‍රියයන්ට ද නිශ්‍ර‍ය වන හෙයින් අධ්‍යාත්මිකය හ. අනින්‍ද්‍ර‍යබද්ධ සන්තානයෙහි පවත්නාහු බාහිරය හ’යි මෙසේ අධ්‍යාත්මික - බාහිර වශයෙන් මෙනෙහි කළ යුතු.

 

මතභේදයකි:- ‘විඥාන වස්තු යන්නෙන් හෘදය වස්තුව ද ගන්නා ලදැ’යි ඇතැමෙක් කියති. ඔවුන් ගේ ඉන්‍ද්‍රිය ග්‍ර‍හණයෙන් ‘අටවැදෑරුම් රූපී ඉන්‍ද්‍රිය ගන්නා ලදැ’යි දත යුතු. එසේ ම ඉරියව් සහිත වූවාහු ද, චතුසමුට්ඨානික වූවාහු ද වෙති.

 

9 කර්‍මයෙන් හටගත් පඨවී ධාතුව, කර්‍මයෙන් හටගත් අපෝ-තේජෝ-වායෝ යන අන්‍ය ධාතුන්ට කර්‍මජ වශයෙන් සංග්‍ර‍හ වේ. එසේ මැ චිත්ත - සෘතු - ආහාරයන්ගෙන් හටගත් පඨවී ධාතුව ද, එසේ මැ ක්‍ර‍මයෙන් හටගත් ආපො ධාතු ආදිය හා සංග්‍ර‍හ වේයැ යි මෙසේ සමුට්ඨාන වශයෙන් සංග්‍ර‍හ කොට මෙනෙහි කළ යුතු ය.

 

10 පඨවී ධාතුව, ආපෝ ධාතුවෙන් සංගෘහිත වැ, තේජෝ ධාතුවෙන් රක්නා ලදු වැ, වායෝ ධාතුවෙන් එල්වන ලදු වැ, එක් වැ උපදනා සෙසු ධාතුන්ට පිහිටවීමෙන් උපකාර වේ.

 

ආපෝ ධාතුව, පඨවී ධාතුවෙන් පිහිට ලැබ, තේජසින් රැකී, සුළඟින් එල්ලී, තමා හා උපදින අන්‍ය මහාභූතයන් හා බැඳීමෙන් උපකාර වේ.

 

තේජෝ ධාතුව, පඨවි ධාතුවෙහි පිහිටා ආපෝ ධාතුවෙන් සංග්‍ර‍හ ලැබ වායෝ ධාතුවෙන් එල්වන ලදු වැ එක් වැ උපන් සෙසු මහාභූතයන්ට පැසවීමෙන් උපකාර වේ.

 

වායෝ ධාතුව ද, පඨවි ධාතුවෙහි පිහිටා ආපයෙන් බැඳී තේජසින් පැසවා තමා හා උපන් සෙසු මහාභූතයන් එල්වීමට උපකාර කෙරෙමින් පවතීයැ යි මෙසේ ඔවුනොවුන්ට ප්‍ර‍ත්‍යය වශයෙන් මෙනෙහි කළ යුතු වේ.

 

11 සතර ධාතූන් අතුරින් පඨවි ධාතුව ‘මම පඨවි ධාතුවෙමැ’යි ද, සෙසු තුන් ධාතුන් ‘මා පිහිට කොට පවතිත්ය’යි ද නො දනී. සෙසු තුන්දෙන ද, අපට පඨවි ධාතුව පිහිටව සිට උපකාර වේයයි ද, නො දනිති’යි මෙසේ ඔවුනොවුන් මෙනෙහි නො කරන බව් දත යුතු යැ. මෙසේ සතර භූතයන් ඔවුනොවුන් මෙනෙහි නොකරන බව් සැලකීමෙන් මෙනෙහි කළ යුතු ය.

 

12 කර්‍මය, චිත්තය, සෘතුය, ආහාරයැ යි රූප උපදවන ප්‍ර‍ත්‍යය සතරෙකි. එහි කර්‍ම සමුත්‍ථාන රූපයන්ට කර්‍මය මැ ජනක ප්‍ර‍ත්‍යය වේ. ඔවුන්ට ජනක වශයෙන් චිත්තාදිය උපකාර නොවේ. චිත්තාදියෙන් හටගත් රූපාදියට මැ චිත්තාදිය ජනක වශයෙන් උපකාර වේ. සෙසු කර්‍මාදි ප්‍ර‍ත්‍යයයෝ ජනක වශයෙන් උපකාර නොවෙති.

 

තවද කර්‍මයෙන් උපදනා රූපයන්ට ඒ කර්‍මය ප්‍ර‍ධාන වශයෙන් ජනක ප්‍ර‍ත්‍යය වේ. ඒ කර්‍මය තෙමේ චිත්ත-සෘතු-ආහාර-සමුට්ඨාන රූපයන්ට අප්‍ර‍ධාන වශයෙන් උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය වේ. නාමාධර්‍මයන්ට පට්ඨානයෙහි උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය නොවදාළ හෙයිනි. චිත්ත සමුට්ඨාන ධාතුන්ට චිත්තය ජනක ප්‍ර‍ත්‍යය වේ. කර්‍මාදි සෙසු තුන් ප්‍ර‍ත්‍යයෙන් උපන් ධාතූන්ට ඒ චිත්තය පච්ඡාජාත-අත්‍ථි-අවිගත වශයෙන් තුන් ආකාරයෙන් ප්‍ර‍ත්‍යය වේ. එසේමැ ආහාර සමුට්ඨාන ධාතුන්ට ඒ ආහාරය ජනක ප්‍ර‍ත්‍යය වේ. සෙසු තුන් ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා ධාතුන්ට ඒ ආහාරය ආහාර, අත්‍ථි, අවිගත වශයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

විශේෂ :- ජනක ප්‍ර‍ත්‍යය නම් ඉපැදවීමයි. (මේ වූකලි කර්‍ම ප්‍ර‍ත්‍යය මැයි) මෙසේ කර්‍මාදි ප්‍ර‍ත්‍යය ධර්‍මයන්ගේ වශයෙන් ධාතුන් පිළිබඳ ප්‍ර‍ත්‍යය විභාගකොට දැන් ඒ සමුට්ඨානයන් ගේ වශයෙන් ද, ප්‍ර‍ත්‍යය විභාගය දක්වති.

 

කර්‍ම සමුත්‍ථාන මහාභූතය, කර්‍ම සමුත්‍ථානික මහාභූතයනට ද ප්‍ර‍ත්‍යය වේ. එසේ මැ චිත්ත සමුට්ඨාන මහාභූතය, ආහාර සමුට්ඨාන මහාභූතය, උතු සමුට්ඨාන මහාභූතය, යන තුන චිත්ත සමුට්ඨාන, ආහාර සමුට්ඨාන, උතු සමුට්ඨාන, මහාභූතයනට හා කර්‍මාදන් හටගන්නා මහාභූතයනට හා ප්‍ර‍ත්‍යය වේ.

 

විස්තර :- ඔවුනතුරින් කම්ම සමුට්ඨානික පඨවි ධාතුව කම්ම සමුට්ඨානික ආපෝ-තේජෝ-වායෝ ධාතුන්ට සහජාත අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත, වශයෙන් හා ආධාර වශයෙන් ද උපකාර වේ. ජනක වශයෙන් උපකාර නොවේ මැයි.

 

සෙසු චිත්තාදි තුන් ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා නො සිඳ පවත්නා මහා භූතයන්ට නිස්සය, අත්‍ථි, අවිගත යන තුන් අකාරයෙන් ප්‍ර‍ත්‍යය වේ. ආධාර වශයෙන් හා ජනක වශයෙන් ප්‍ර‍ත්‍යය නො වේ. ආපෝ ධාතුව ද, සෙසු මහා භූතයන්ට, සහජාත, අත්‍ථි, අවිගත යන තුන් ආකාරයෙන් හා හාත්පසින් බැඳීම් වශයෙන් උපකාර වේ. ජනක වශයෙන් උපකාර නො වේ. අවශේෂ තුන් ප්‍ර‍ත්‍යයයෙන් හටගන්නා මහාභූතයනට නිස්සය, අත්‍ථි, අවිගත වශයෙන් උපකාර වේ. බැඳීම් වශයෙන් හෝ ජනක වශයෙන් හෝ උපකාර නො වේ.

 

තේජෝ ධාතුව ද, සෙසු තුන් භූතයනට සහජාත, අත්‍ථි, අවිගත වශයෙන් හා පැසවීම් වශයෙන් උපකාර වේ. ජනක වශයෙන් උපකාර නොවේ.

 

ඒ තේජෝ ධාතුව ද සෙසු තුන් ප්‍ර‍ත්‍යයයෙන් හටගන්නා මහා භූතයනට නිස්සය, අත්‍ථි, අවිගත වශයෙන් උපකාර වේ. පැසවීම් වශයෙන් හෝ ජනක වශයෙන් හෝ උපකාර නොවේ. වායෝ ධාතුව ද, සෙසු තුන් මහා භූතයන්ට සහජාත, අත්‍ථි, අවිගත වශයෙන් හා හැම්මිම් වශයෙන් ප්‍ර‍ත්‍යය වේ. ජනක වශයෙන් උපකාර නොවේ. සෙසු තුන් ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා මහා භූතයනට නිස්සය, අත්‍ථි, අවිගත, වශයෙන් මැ උපකාර වේ. හැම්මීම් වශයෙන් හෝ ජනක වශයෙන් උපකාර නොවේ. චිත්ත-සෘතු-ආහාර යන තුන් සමුට්ඨානයන් ගෙන් හටගන්නා මහාභූතයන් ගේ ද මේ ක්‍ර‍මය දත යුතු.

 

මෙසේ සහජාත වශයෙන් පැවැත්තා වූ මේ ධාතුන් කෙරෙහි මේ මතු දැක්වෙන සේ උපකාර වන පරිදි දත යුතු.

 

“එකං පටිච්ච තිස්සො - චතුධා තිස්සො පටිච්ච එකා ච

ද්‍වෙ ධාතුයො පටිච්ච - ද්‍වෙ ඡද්ධා සම්පවත්තන්ති”

 

(එකං ධාතුං පටිච්ච තිස්සො ධාතුයො චතුධා සම්පවත්තන්ති. තිස්සො ධාතුයො පටිච්ච එකා ච ධාතු චතුධා සම්පවත්තන්ති. ද්‍වෙ ධාතුයො පටිච්ච ද්‍වෙ ධාතුයො ඡද්ධා පවත්තන්ති. යනු මෙහි අන්‍වය යැ.)

 

පඨවි ආදි ධාතුන් අතුරින් එකෙකි. ධාතුවක් නිසා සෙසු තුන් ධාතුහු සතරාකාරයෙකින් පවත්නාහ. එසේ මැ තුන් ධාතුන් නිසා එක් ධාතුවක් සතරාකාරයෙකින් පවතී.

 

ධාතුන් දෙකක් නිසා දෙකක් සය ආකාරයෙකින් පවතී.

 

ඒ මෙසේ ය:- පළමුවන පඨවි-අපෝ ධාතු දෙදෙන නිසා පසු වූ තේජෝ - වායෝ දෙක ද, පසු වූ තේජෝ-වායෝ දෙක නිසා පළමුවන පඨවී - ආපෝ ධාතු දෙක ද, පළමුවන තුන් වන පඨවි-තේජෝ දෙක නිසා දෙවන සතරවන ආපෝ-වායෝ දෙක ද, දෙවන සතරවන ආපෝ වායෝ දෙක නිසා පළමුවන තුන්වන පඨවි-තේජෝ දෙක ද, පළමුවන සතරවන පඨවි-වායො දෙක නිසා දෙවන තුන්වන ආපෝ-තේජෝ දෙක ද, දෙවන තුන්වන ආපෝ-තේජෝ දෙක නිසා පළමුවන සතරවන පඨවි වායෝ දෙකදැ යි මෙසේ ධාතුන් දෙදෙනෙකුන් නිසා දෙදෙනෙක් සයාකාරයෙකින් පවත්නාහ.

 

ඒ සතර ධාතු අතුරින් පඨවි ධාතුව ඉදිරියට යාම්-ආපසු ඊම් - ආදි කාලයෙහි පෘථිවි ධාතුවෙන් උද්ධරණය වන හෙයින් ගැටීමට ද, ආපෝ ධාතුවට අනුගත වූ ඒ පෘථිවි ධාතුව මැ පය බිම තැබීමට ද, පඨවි ධාතුවට අනුගත ආපෝ ධාතුව පය යට හෙලීමට ද, වායෝ ධාතුවෙන් අනුගමනය කරන ලද තේජෝ ධාතුව පය එසවීමට ද, තේජෝ ධාතුවට අනුගත වූ වායෝ ධාතුව පය ඉදිරියට හා සරසට යැවීමට ද, ප්‍ර‍ත්‍යය වේ. මෙසේ ප්‍ර‍ත්‍යය විභාග වශයෙන් මෙනෙහි කළ යුතුය.

 

වචනාර්‍ථාදි වශයෙන් මෙසේ මෙනෙහි කරන්නා වූ යෝගාවචරයාහට තෙළෙස් (13) ආකාර අතුරින් එකි එකී ආකාරයෙන් ධාතුහු ප්‍ර‍කට වෙත්.

 

ඒවා නැවත නැවත (ආවර්‍ජනා කරන) මෙනෙහි කරන යෝගාවචරයාහට පෙර කී පරිද්දෙන් මැ උපචාර සමාධි උපදනේ ය. ඒ උපචාර සමාධිය සතර ධාතූන් ව්‍යවස්ථා කරන ඥානයාගේ ආනුභාවයෙන් උපදනා හෙයින් චතුධාතු වවත්‍ථාන සංඛ්‍යාවට යේ.

 

විශේෂ - මේ චතුධාතු වවත්‍ථාන කර්‍මස්ථානයෙහි යෙදුණු යෝගාවචර තෙමේ සත්ත්‍වාදීන්ගේ ශුන්‍ය බව දකී. එහෙයින් මැ සත්ත්‍ව යනාදි සංඥාව නසයි. සත්ත්‍ව සංඥාව නැසූ හෙයින් අරණ්‍ය සෙනසුන් ආදියෙහි ව්‍යාලමෘග-යක්‍ෂ-රාක්‍ෂසාදි සත්ත්‍වයන් දැක ද ‘ඔහු ව්‍යාල මෘගාදීහු නො වෙති. හුදෙක් සතර භූතයන් ගේ විශේෂයහ’යි ධාතු මාත්‍ර‍ කෙරෙන් කුමට භයවෙම්දැයි, සිතා භය භෙරවයන් ඉවසන්නේ ය. ප්‍රාන්ත සේනාසනයන්හි හා අධිකුශල ධර්‍මයන්හි නො ඇලීම ද, පස්කම් ගුණයෙහි ඇලීම ද මැඩපවත්වන්නේ වේ. කැමැති රූපාදි අරමුණෙහි සිත බැගෑ බවට ද නො පැමිණෙන්නේ ය.

 

“මෙසේ නේ සුවහස් - යෝගින් බවුන් පැළැඹුණු

සිවුදා විවිසු මැ නිතින් - නුවණැතියෝ යෙදෙත්වා!”

 

මේ චතුධාතු වවත්‍ථාන භාවනා නිර්දේශය යි.

 

මෙතෙකින් ‘සමාධි නම් කිමැ’ යි ප්‍ර‍ශ්න කොට ඇරඹූ සමාධි විස්තරය හා සමාධි භාවනා ක්‍ර‍මය ද, විස්තර වශයෙන් දක්වා නිමවන ලදි.

 

එහි ද කෙසේ වැඩිය යුතුද? යන මේ පදයා ගේ අර්‍ථ වර්‍ණනාව සර්‍වප්‍ර‍කාරයෙන් නිමවන ලදි.

 

විශේෂ :- මෙහි උපචාර - අර්පණා යන උභය සමාධිය මැ අභිප්‍රේත යැ. ඔවුනතුරින් උපචාරාවහ කර්‍මස්ථානය වූ බුද්ධානුස්සති ආදි දශවිධ කර්‍මස්ථානයන්හි අර්පණාවට (අෂ්ට සමාපත්තීන්ට) පූර්‍වභාවගයෙහි පැවැති චිත්තේකාග්‍ර‍තාවය උපචාර සමාධි නම. සෙසු සමතිස් කමටහන්හි චිත්තය පිළිබඳ ඒකාග්‍ර‍තාව අර්පණා සමාධි නම් වේ. ඒ ඒ කර්‍මස්ථාන වැඩීමෙන් මැ ඒ දෙයාකාරය මැ වඩනා ලද්දේ වෙයි. කෙසේ වැඩිය යුතු දැ යි යන්නෙහි අර්‍ථ වර්‍ණනාව සර්‍වප්‍ර‍කාරයෙන් නිමවන ලදැ යි කීයේ එ හෙයිනි.

 

 

 

සමාධි භාවනාවේ ආනිසංස කවරේද?

 

සමාධි භාවනාවේ දිට්ඨධම්ම සුඛවිහාරාදි ආනිසංස පසෙක් වේ.

 

ඒ මෙසේ යි:-

 

(1) රහතුන් ‘සමාප්තියට සමවැද එකඟ සිත් ඇති වැ දවස් යවම්හ’යි සමවදනා කල ඒ අර්පණා ඉහාත්ම සැප විහරණය පිණිස වේ.

 

එයින් වදාළහ:-

 

න ඛො පනෙ තෙ වුන්‍ද අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. දිට්ඨධම්ම සුඛ විහාරා එතෙ අරියස්ස විනයෙ වුච්චන්ති[392] යි අදහස පෙර කී සේයි.

 

(2) ශෛක්‍ෂයන්ගේ හා පෘථග්ජනයන්ගේ ධ්‍යානය, විදර්‍ශනාවට ආසන්න කාරණා වන හෙයින් අර්පණා සමාධි භාවනාවටද, තෘෂ්ණෘ සංකේලශාදීන් කිලිටි වන හෙයින් අතිශයින් සම්බාධ වූ සංසාර ප්‍ර‍වෘත්තියෙහි අර්‍ථ ලාභයට යෝග්‍ය වූ දුලර්‍භ වූ නව වැනි ක්‍ෂණ සංඛ්‍යාත අවකාශය ලැබීමෙන් අර්පණාවට ද, නො පැමිණ සංවේග බහුල පුද්ගල තෙමේ උපාචාර සමාධියෙහි පිහිටා විදර්‍ශනා වඩා වහා සසර දුක් ගෙවා නිවන් පසක් කරන්නේ ය.

 

සමාධිං භික්ඛවෙ භාවෙථ. සමාහිතො භික්ඛවෙ භික්ඛු යථාභූතං පජානාති[393] යි. “මහණෙනි! සමාධිය වඩව්, සමාධියෙන් සිත මනා වැ එකඟ කළ මහණ තෙම සියලු ධර්‍මයන් තත්ත්‍වාකාරයෙන් දැන ගනී ය” යි එහෙයින් වදාළහ.

 

(3) අෂ්ට සමාපත්ති උපදවා අභිඥා පාදක ධ්‍යානයට සමවැද ඉන් නැගී “එකොපි හුත්‍වා බහුධා හොති”[394] ‘තෙමේ එකෙක්ව ද බොහෝ වෙයි’ යනාදීන් කියන ලද පරිදි අභිඥා ප්‍රාර්‍ථනා කරන්නාවූ මහණහට ඒ අෂ්ට සමාපත්තිය අභිඥා ලාභයට සුදුසු උපනිශ්‍ර‍ය ඇති කල්හි අභිඥාවට ආසන්න කාරණ හෙයින් අභිඤ්ඤානිසංස ඇත්තේ වේ.

 

“සො යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡි කරණියස්ස ධම්මස්ස චිත්තං අබිනින්තාමෙති. අභිඤ්ඤා සච්ඡිකරියාය තත්‍ර‍ තත්‍රෙව සක්කි භබ්බතං පාපුණාති සති ආයතනෙ”[395] යි මතු විස්තර වන විශිෂ්ට ඥාන සංඛ්‍යාත ‘පඤ්චාභිඥාවන්ගෙන් ප්‍ර‍ත්‍යක්‍ෂ කටයුතු යම් යම් ධර්‍මයකට සිත නැමේ නම් ඒ ඒ ධර්‍මයන් ප්‍ර‍ත්‍යක්‍ෂ කිරීමට සුදුසු බවට පැමිණේය’යි එයින් වදාළහ.

 

(4) ‘නො පිරිහුණු ධ්‍යාන ඇති වැ බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදිම්හ’යි බ්‍ර‍හ්ම ලෝකෝත්පත්තිය නමින් පතමින් හේ භවගාමී කර්‍මය අරභයා භව ප්‍රාර්‍ථනය නො කළද, ඒ කර්‍මය කළ හෙයින් භව ප්‍රාර්‍ථනය සිදු වන බැවින් බ්‍ර‍හ්ම ලෝකෝත්පත්තිය නො පතා හෝ පෘථග්ජනයන් සමාධියෙන් නො පිරිහී කාලක්‍රියා කරත් ම බ්‍ර‍හ්මලෝකයෙහි ඉපදීම නියත හෙයින් අර්පණා සමාධි භාවනාව භව විශේෂ ලැබීම ආනිසංස කොට ඇත්තේ යි.

 

“පඨමජ්ඣානං පරිත්තං භාවෙත්‍වා කත්‍ථ උප්පජ්ජන්ති, පඨමජ්ඣානං පරිත්තං භාවෙත්‍වා බ්‍ර‍හ්මපාරිසජ්ජානං දෙවානං සහව්‍යතං උප්පජ්ජන්ති[396] යි.

 

“පඨමජ්ඣානය පරිත්තකොට වඩා කොහි උපදිද්ද බ්‍ර‍හ්ම පරිසද්‍යායෙහි උපදිත් ය”යි එයින් වදාළහ.

 

විශේෂ :- උපචාර භාවනා සමාධිය ද, කාමාවචර සුගති භවයෙහි උපදවාය යි ධම්ම හදය විභඞ්ගයෙහි[397] වදාළහ.

 

(5) අෂ්ට සමාපත්ති උපදවා නිරෝධ සමාපත්තියට සමවැද සත් දවසක් අචිත්තකව ද, ‘ඉහාත්ම චිත්ත නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණයට පැමිණ සැපසේ වසම්හ යි සමාධි වඩන්නාවූ අනැගැමි-රහත් ආර්‍ය්‍යයන්ගේ ඒ අර්පණා භාවනාව නිරෝධ සමාපත්තිය ආනිසංස කොට ඇත්තේ යි.

 

සොළසෙහි ඤාණචරියාහි නවහි සමාධි චරියාහි වසී භාවතො පඤ්ඤා නිරොධ සමාපත්තියා ඤාණං2 (අනිච්ච-දුක්ඛ-අනත්ත-නිබ්බිදා-විරාග-නිරොධ-පටිනිස්සග්ග-විවට්ටානු පස්සනා යන අනුපස්සනා අට හා) මාර්‍ග-ඵල අට දැයි මෙ කිී සොළොස් ඤාණ චරියාවෙන් හා (රූපාවචර පසය, අරූපාවචර සතරය යන) නව සමාධි චරියාවෙන් ද, වශී භාවයට පැමිණීමෙන් හටගත් ප්‍ර‍ඥාව නිරෝධ සමාපත්තියේ නුවණයැ යි වදාළහ.

 

මෙසේ සමාධි භාවනායෙහි දිට්ඨධම්මසුඛ විහාරාදි පඤ්චානිසංස ඇත්තේ යි.

 

කෙලෙස් මල දෙවුමෙහි - නේ අනුසසින් හොබනා

පමවත් බවුන් වැඩුමෙහි - පඬිදෙනෙ පමා නොව නේ

 

මෙතෙකින් “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො” යනාදි ගාථායෙහි සීල-සමාධි-ප්‍ර‍ඥා මුඛයෙන් වදහළ විශුද්ධි මාර්‍ගයෙහි සමාධිය ද, දක්වා නිමවන ලදී.

 


 

 

 

 

 

 

 

 

 

හුදී ජනයාගේ පහන් බව පිණිස කළ

 

සිංහල විශුද්‍ධි මාර්‍ගයෙහි සමාධි භාවනාධිකාරයට ඇතුළත්

සමාධි නිර්දේශ නම් වූ එකොළොස්වන පරිච්ඡේදයයි.


12 වන පරිච්ඡේදය

ඉද්ධිවිධ නිර්දේශය

 

මෙයට පළමු (එකොළොස් වැනි නිර්‍දෙශයෙහි) කියා නිම වූ ඒ සමාධි භාවනාව “ලෞකික අභිඥා ආනිසංස කොට ඇත්තීය”යි කියන ලද්දේ ඒ අභිඥා සම්පාදනයට චතුර්ථ ධ්‍යානලාභියා උත්සාහවත් කරවනු සඳහා ය.

 

එහි විශේෂ ප්‍රයෝජන දැක්වීම පිණිස මෙසේ “ඒ පඤ්චාභිඥාවන් සම්පාදනය කර ගත් යෝගාවචර මහණහුගේ ඒ සමාධි භාවනාව ලබන ලද අනුසස් ඇත්තී ද මනා සේ තහවුරු වූවා ද වෙයි. හෙතෙමේ එබඳු ඒ සමාධි භාවනාවෙන් යුක්ත වූයේ සුවසේ මැ ප්‍ර‍ඥා භාවනා සිද්ධ කෙරේ යැ”යි කියන ලදී. එහෙයින් පළමුකොට අභිඥා කථාව පටන් ගන්නෙමු.

 

භාග්‍යවතුන් වහන්සේ චතුර්ථ ධ්‍යාන ලාභී කුලපුත්‍ර‍යන් ගේ සමාධිභාවනානිසංස දක්වනු පිණිස ද, මතු මත්තෙහි ප්‍ර‍ණීත ධර්‍මදේශනාව පිණිස ද,

 

“සො එවං සමාහිතෙ චිත්තෙ -පෙ- ඉද්ධිවිධාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙක විහිතං ඉද්ධිවිධං පච්චනුභොති. එකොපි හුත්‍වා බහුධාහොති”[398]

 

“ඒ යෝගාවචර මහණ තෙමේ සිත එකඟ වැ, පිරිසිදු වැ, සර්‍වප්‍ර‍කාරයෙන් පාප ධර්‍මයන්ගෙන් මිදී, කෙලෙසුන් කෙරෙන් දුරු වැ, උපක්ලේශයෙන් පහ වැ මොළොක් වැ, සෘද්ධිවිධ කර්‍මයට සුදුසු වැ, කෙලෙසුන් නිසා නො සැලෙන බවට පැමිණි කල්හි ඉද්ධිවිධ ඤාණය පිණිස සිත මෙහෙයයි. හෙතෙමේ අනේකාකාර වූ සෘද්ධිවිධ ඥානය ලබයි. තෙමේ එකෙක්ව ද බොහෝ වේ යැ”යි. මේ ආදීන්

 

1.  සෘද්ධිවිධ ඥානය

2.  දිව්‍යශ්‍රොත ඥානය

3.  පරචිත්තවිජානන ඥානය

4.  පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය

5.  සත්ත්‍වයන්ගේ චුතූපපාත ඥානය යි.

 

මේ පඤ්චවිධ ලෞකික අභිඥාවන් වදාළ සේක.

 

විස්තර :- “මෙසේ එකෙක්ව ද, බොහෝ වෙයි” යනාදීන් දැක් වූ සෘද්ධිවිකුර්‍වණය කරනු කැමති ආදිකර්මික යෝගාවචරයා විසින් පඨවි කසිණයේ සිට ඕදාත කසිණය තෙක් ඇති අෂ්ට කසිණයන්හි ලෞකික සමාපත්ති අට අට උපදවා -

 

(1) කසිණානුලෝමය

(2) කසිණ පටිලෝමය

(3) කසිණානුලොම පටිලෝමය

(4) ධ්‍යානානුලෝමය‍

(5) ධ්‍යාන පටිලෝමය

(6) ධ්‍යානානුලොම පටිලෝමය

(7) ධ්‍යාන උල්ලඞ්ඝනය

(8) කසිණ උල්ලඞ්ඝනය

(9) ධ්‍යාන කසිණ උල්ලඞ්ඝනය

(10)    අඞ්ග සඞ්කන්තිකය

(11)    ආලම්බන සඞ්කන්තිකය

(12)    අඞ්ග ආලම්බන සඞ්කන්තිකය

(13)    අඞ්ග ව්‍යවස්ථාපනය

(14)    ආලම්බන ව්‍යවස්ථාපනය

 

යන මේ තුදුස් ආකාරයෙන් සිත දමනය කළ යුතු.

 

විශේෂ :- ආකාස කසිණයෙන් අරූපාවචර සමාපත්ති නො ලැබෙන හෙයින් ද, ආලෝක කසිණය අවදාත කසිණයෙහි ඇතුළත් වන හෙයින් ද, අට කසිණය යි කියන ලදී. තවද කසිණ පටිලෝමය දේශනා ක්‍ර‍මයෙන් ද, ධ්‍යානානුලෝමය ප්‍ර‍තිපත්ති වශයෙන් ද දත යුතු. සිත දමනය කිරීම මෙහිලා අභිමත හෙයින් ආකාශ නිර්‍මාණාදිය සඳහා කසිණානුලෝම ක්‍ර‍මය හා කසිණපටිලෝම ක්‍ර‍මය ද, කැමති විය යුතු.

 

(1) පළමුකොට පඨවි කසිණයෙන් ධ්‍යානයට සමවැදී දෙවනු වැ ආපෝ කසිණයෙන් ද, යනාදි පිළිවෙළින් අට කසිණයෙන් සිය වරක් හෝ දහස් වරක් ධ්‍යානයට සමවදනේ ය. මේ යැ කසිණානුලෝමය නම්.

 

(2) අටවෙන අවදාත කසිණයෙහි සිට ආපසු පඨවි කසිණය තෙක් ප්‍ර‍තිලෝම වශයෙන් සිය දහස්වර ධ්‍යානයට සමවැදීම කසිණ පටිලෝමය යැ.

 

(3) පඨවි කසිණයේ සිට අවදාන කසිණය තෙක් ද, අවදාත කසිණයේ සිට පඨවි කසිණය තෙක් දැයි මෙසේ අනුලෝම - ප්‍ර‍තිලෝම වශයෙන් නැවත නැවතව සිය දහස්වර ධ්‍යානයට සමවැදීම කසිණානුලෝම පටිලෝම යැ.

 

(4) ප්‍ර‍ථමධ්‍යානයේ සිට පිළිවෙළින් නේවසඤ්ඤා නාසඤ්ඤායතනය තෙක් නැවත නැවත සිය දහස්වර සමවැදීම ධ්‍යානානුලෝමය යැ.

 

(5) නේවසඤ්ඤා නාසඤ්ඤායතනයේ පටන් ප්‍ර‍ථමධ්‍යානය තෙක් ආපසු සමවැදීම ධ්‍යාන පටිලෝමය යැ.

 

(6) ප්‍ර‍ථම ධ්‍යානයේ පටන් නේවසඤ්ඤා - නාසඤ්ඤායතනය තෙක් ද නේවසඤ්ඤා නාසඤ්ඤායතනයේ පටන් ප්‍ර‍ථමධ්‍යානය තෙක් ද, අනුලෝම-ප්‍ර‍තිලෝම වශයෙන් සමවැදීම ඣානානුලෝම - පටිලෝමය නම් වේ.

 

(7) පඨවි කසිණයෙන් ප්‍ර‍ථමධ්‍යාන - තෘතීයධ්‍යානයන්ට ද, එය උගුළුවා පඨවි කසිණයෙන් මැ උපදවන ලද අවකාශය අනන්ත වශයෙන් පතුරුවා එහි පරිකර්‍ම වඩා ආකාසානඤ්චායතනයට සමවැදීම ද, එයින් මැ ආකිඤ්චඤ්ඤායතනයට සම වැදීම දැ යි, මෙසේ කසිණය නො ඉක්ම ධ්‍යානය එකිනෙක ඉක්මවීමෙන් සමවැදීම ‘(ඣානුක්කන්තික) ධ්‍යාන උල්ලඞ්ඝනය’ නම් වේ.

 

(8) පඨවි කසිණයෙන් ප්‍ර‍ථමධ්‍යානයට සමවැද ආපෝ කසිණය හැර තේජෝ කසිණයෙන් ද, ප්‍ර‍ථම ධ්‍යානයට සමවැද මෙසේ කසිණ එකක් හැර එකක් අරමුණු කොට ගෙන එක මැ ධ්‍යානයට සමවැදීම (කසිණුක්කන්තික) කසිණ උල්ලඞ්ඝනය නම් වේ.

 

(9) පඨවි කසිණයෙන් ප්‍ර‍ථම ධ්‍යානයට සමවැද (අපෝ කසිණය හැර) තේජෝ කසිණයෙන් (ද්‍විතීය ධ්‍යානය හැර) තෘතීයධ්‍යානයට සමවැද (වායො කසිණය හැර) නීල කසිණය උගුළුවා ලද අහස්හි ආකාසානඤ්චායතනයට ද, (පීත කසිණය හැර) ලෝහිත කසිණය ආවර්‍ජනා කිරීමෙන් අභිමුඛකොට එය උගුළුවා ලැබුණු (ආකාසය මෙනෙහි නො කිරීමෙන් එහි පෙර පැවති) විඤ්ඤාණයා ගේ අපගමනය අරමුණු කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනයට දැ යි මේ ක්‍ර‍මයෙන් කසිණයන් හා ධ්‍යානයන් අතරතුර ඉක්මවීමෙන් සමවැදීම ධ්‍යාන කසිණ උල්ලඞ්ඝනය නම් වේ.

 

(10) පඨවි කසිණයෙන් ප්‍ර‍ථමධ්‍යානයට සමවැද එයින් ම ද්විතීයා දි සෙසු රූපාවචර ධ්‍යානයන්ට අඞ්ග පිළිවෙලින් සමවැදීම අඞ්ග සංකත්තිකය නම් වේ.

විශේෂ:- අරූපාවචර ධ්‍යානයෙහි අංග සංක්‍ර‍මණයෙක් නැති.

 

(11) පඨවි කසිණයෙන් ප්‍ර‍ථමධ්‍යානයට සමවදනා සේ ආපො කසිණාදියෙනුදු ප්‍ර‍ථමධ්‍යානයට මැ සමවැදීම යැ යි මෙසේ සියලු කසිණයන්හි එක මැ ධ්‍යානයකට සමවැදීම ආලම්බන සංකන්තික නම් වේ.

 

(12) පඨවි කසිණයෙන් ප්‍ර‍ථමධ්‍යානයට ද, ආපෝ කසිණයෙන් ද්විතීය ධ්‍යානයට ද, තේජෝ කසිණයෙන් තෘතීය ධ්‍යානයට ද, වායෝ කසිණයෙන් චතුර්ථ ධ්‍යානයට ද, නීල කසිණය උගුළුවාලද අහස්හි ආකාසානඤ්චායතනයට ද, පීත කසිණයෙන් විඤ්ඤාණඤ්චායතනයට ද, ලෝහිත කසිණයෙන් ආකිඤ්චඤ්ඤායතනයට ද, අවදාත කසිණයෙන් නේවසඤ්ඤා-නාසඤ්ඤායතනයට දැ යි මෙසේ අඞ්ගයන්ගේ ද, ආලම්බනයන්ගේ ද, එකිනෙක පැන සමවැදීම අඞ්ග ආලම්බන සංකන්තික නම් වේ.

 

(13) ප්‍ර‍ථම ධ්‍යානය විතර්‍කාදි පඤ්චඞ්ඟිකයයි ද, ද්විතීය ධ්‍යානය තිවඞ්ඟිකයයි ද, තෘතීය ධ්‍යානය සුඛාදි දුවඞ්ඟිකයයි ද, චතුර්ථ ධ්‍යානය උපෙක්ඛාදි දුවඞ්ඟිකයයි ද, ආකාසානඤ්චායතනය එසේ ම දුවඞ්ඟිකයයි ද, විඤ්ඤාණඤ්චායතනාදිය ද එසේ ම අඞ්ග දෙකකින් යුක්තය යි ද, මෙසේ ධ්‍යානාඞ්ග මාත්‍ර‍ය මැ ව්‍යවස්ථාපනය කිරීම අඞ්ග ව්‍යවස්ථාපනය නම් වේ.

 

(14) මේ පඨවි කසිණය යැ -පෙ- මේ ඔදාත කසිණය යි මෙසේ ආලම්බන මාත්‍ර‍ය නියම කිරීම ආලම්බන ව්‍යවස්ථාපනය නම් වේ.

 

විශේෂ:- අඞ්ග ආලම්බනයන් ගේ ව්‍යවස්ථාපනය ද ඇතැම් ආවර්‍ය්‍ය කෙනෙක් කැමති වෙති. අටුවාවෙහි නො එන හෙයින් එය ඒකාන්ත භාවනා මුඛයෙක් නො වේ.

 

මේ තුදුස් ආකාරයෙන් සිත දමනය නො කොට පූර්‍ව ජන්මයෙහි ධ්‍යානාභිඥාවන්හි කරන ලද අධිකාර නැති ධ්‍යාන නො වැඩූ ආදිකර්‍මමික යොගාවචර තෙමේ විකුර්‍වණ සෘද්ධිය සම්පාදනය කරන්නේ ය, යන මේ කාරණය සිදු නො වේමය.

 

ඒ එසේ ම ය:- ආදිකර්මිකයාට කසිණ පරිකර්‍මය පවා අතිශයින් බැරෑරුම් වේ. සෘද්ධි විකුර්‍වණය කළ හැකි බව් කියනුම කිම? කසිණ පරකර්‍ම වඩන සිය දහස් දෙනකුත් අතුරෙන් එකතු මැ එයට සමර්ථවන හෙයිනි.

 

(දොස් බැහැර කිරීමේ පටන් උග්ගහ නිමිත්ත උපදනා තෙක් කසිණ මණ්ඩලයෙහි පිළිපැදිය යුතු ප්‍ර‍තිපත්තිය කසිණ පරිකර්‍මය යි.)

 

අනතුරු වැ ප්‍ර‍තිභාග නිමිත්ත ඉපදවීම බැරෑරුම් වේ. සිය දහස් දෙනකුන්ගෙන් එකෙක් මැ ලබන්නේ ය. (පඨවි කසිණ නිර්දේශයෙන් මේ විස්තර සේ දත හැකි වේ)[399] ප්‍ර‍තිභාග නිමිත්ත උපන් කල්හි ද, උපචාර - අර්පණා ලැබීම දුෂ්කර වන්නේ ය. සිය දහසෙකින් එකෙක් මැ ලබන්නේ ය. අර්පණා ලාභියාට ද තුදුස් ආකාරයකින් සිත දමනය කිරීම දුෂ්කර යැ. සිය දහසෙකින් එකකුට මැ හැකි වේ. තුදුස් ආකාරයකින් සිත දමනය කිරීමෙහි පොහොසත් වූවහුට ද, සෘද්ධිය විකුර්‍වණය අතිශයින් බැරෑරුම් වන්නේ ය. සිය දහසෙකින් එකෙක් මැ සමර්ථ වේ. සෘද්ධි විකුර්‍වණය ඇත්තාහට ද ඛිප්ප නිසන්ති භාවය (වහා වහා ධ්‍යානයට සමවැදීමේ සමර්ථ භාවය) හෝ ධ්‍යාන ඇසින් පඨවි කසිණාදි ධ්‍යානාලම්බනය බැලීම දුෂ්කර වන්නේ ය. සිය දහසෙකින් එකෙක් මැ සමර්ථ වේ.

 

නිදර්‍ශන:- මිහින්තලා පව්වේ අම්බස්ථලයෙහි මහාරෝහණගුත්ත ස්ථවිරයන්ට ගිලන් උපස්ථානයට ආවා වූ තිස්දහසක් පමණ සෘද්ධිමත් භික්‍ෂුන් අතුරින් උපසම්පදාවෙන් අටවස් වූ බුද්ධරක්ඛිත තෙරුන් මෙනි. උන්වහන්සේ ගේ ආනුභාවය පඨවි කසිණ නිර්‍දෙශයෙහි කියන ලදි.[400] ඒ ස්ථවිරයන් වහන්සේ ගේ ආනුභාවය දැක රෝහණගුත්ත ස්ථවිරයන් වහන්සේ ඇවැත්ති! ‘අද අප ගේ සඞ්ඝ සභාවෙහි රක්ඛිත ස්ථවිර නම නො සිටියේ නම් නා රජු රැකගත නො හැක්කම්හ. අප හැමදෙනමෝ ගර්හාවට පත් වන්නමෝ ය’යි කීහ.

 

එහෙයින් ‘සතුරන් ජය ගැනීමට යුද්ධ කරන්නා වූ යෝධා ජීවයන් මල නැති කඩු තෝමරාදිය ගෙන හැසිරෙන්නා සේ භික්‍ෂුන් විසින් ද ක්ලේශ විජය පිණිස නිර්‍මල වූ ධ්‍යානාභිඥා වලඤ්ජනය කටයුතු යැ’යි ඒ භික්‍ෂූන්ට අවවාද කළහ. ඒ අවවාදයෙහි පිහිටා බොහෝ භික්‍ෂූහු ඛිප්පතිසන්ති වූහ.

 

වහා ධ්‍යානයට සමවැදීමට සමර්ථ වූයේ ද මෙරමාහට පැමිණි උපද්‍ර‍වයේ දී ප්‍ර‍තිෂ්ඨා වන බව අතිශයින් බැරෑරුම් වන්නේ ය. එබන්දන් සිය දහස් දෙනෙකුගෙන් එක් කෙනෙක් ම මෙරමාහට පැමිණි උපද්‍ර‍වයක දී පිහිටවීමට පොහොසත් වන්නාහ. මෙරමා හට පැමිණි උපද්‍ර‍වයෙහි දී පිහිටවීම අතිශයින් යුහුසුලු වැ කටයුතු හෙයින් හා දුකසේ ලැබිය යුතු හෙයින් ද, ක්‍ෂිප්‍ර‍තිශාමයනටත් එය වඩා බැරෑරුම් වන්නේ ය.

 

නිදර්‍ශන:- ලක්දිව අවට යොදනක් තන්හි පහන් වැටින් පහන් තොරණින් එකාබද්ධකොට කළ ගිරිභණ්ඩවාහන නම් මහා ප්‍ර‍දීප පූජායෙහි දී වසවර්‍තති මාරයා මහත් අඟුරු වැස්සක් මවා ඒ පූජාව හා මනුෂ්‍යයන් ද දවා අළුකරන්නට ආරම්භ කළ කල්හි එක්තරා අභිඥාලාබී මහා තෙර කෙනෙක් එක ම ගිනි පුපුරකුදු මිනිසුන් කරා පැමිණෙන්නට පෙර අහසෙහි පොළොවක් මවා අඟුරු වැස්ස නවතා ලූහ.

 

වසවත් මාර අඟුරු වැස්ස වස්වන බව කලින් නො දැනම එය අහසින් පහළට බස්නා බව දුටු කෙණෙහි ම ඇසිපිය හෙලීමටත් පෙර මඳ ඇසිල්ලකින් චතුර්‍ථ ධ්‍යානයෙන් විකුර්‍වණ සෘඬිය උපදවා පෘථිවියක් මවා අගුරු වැස්ස අහස්හි ම නවතාලීම ඉතා ආශ්චර්‍ය ය. මෙසේ මෙරමා උපද්‍ර‍ව නවතාලීමට පිහිටවීම අතිශයින් ම බැරෑරුම් වේ.

 

විශේෂ:- සෘඬිවිධඥානාදි ගුණධර්‍මයන්ට කාරණ වූ  බලවත් පූර්‍ව ප්‍රාර්ථනා ඇති බුදු-පසේබුදු-අගසවු-සමසවුවනට මෙකී ක්‍ර‍මයෙන් තොරව ද විදර්‍ශනා ක්‍ර‍මයෙහි කියන ලද භාවනා පිළිවෙලින් අර්‍හත් ඵල ප්‍ර‍තිලාභයෙන් මැ මේ සෘඬිවිකුර්‍වණය ද සෙසු ප්‍ර‍තිසමභිදාඥානාදිය ආදි ශබ්දයෙන් ගත් ස්ථානාස්ථානාඥානාදි ප්‍රභේද ගත ගුණයෝ ද සමෘද්ධ වෙත්මය.

 

උපමාවෙකි:- පලඳනා විශේෂයක් කරනු කැමති රන් කරුවෙක් ගිනි පිඹිම් ආදීන් රන් මොළොක් කිරීමෙන් කර්‍මාන්තයට යෝග්‍යකොට පලඳනා විශේෂ කරන්නා සේ ද, ලාකඩ ශිල්පියෙක් ලක්‍ෂාරසාදිය පළමු වැ මොළොක් කොට ලාකඩ කර්‍මාන්ත කරන්නා සේ ද, ආදිකර්මික යෝගාවචරයා විසින් මේ තුදුස් ආකාරයෙන් සිත දමනය කොට (මට අභිඥා ඒකාන්තයෙන් මැ සමෘද්ධ වන්නේ යැ යි) ඡන්‍ද, චිත්ත, විරිය, විමංසා යන සතර සෘද්ධි පාදයන් එකිනෙක පෙරටු කොට ගෙන ධ්‍යානයට සමවැදීම් වශයෙන් ආවජ්ජන, සමාපජ්ජන, අධිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛණ යන පස් ආකාරයෙන් වසඟ බවට පැමිණවීමෙන් මොළොක් කොට සෘද්ධිවිධ ඥානය ලබනු පිණිස භාවනා කළ යුතු ය.

 

පූර්‍ව හේතු සම්පන්නයා විසින් යම් ධ්‍යානයක් පාදකකොට අභිඥා ඉපදවිය යුතු නම් ඒ ධ්‍යානයෙහි ද පුරුදු කළ වාසීභාවය කැමති විය යුතු ය. එය මෙසේ වදාළහ.

 

“සො එවං සමාහිතො චිත්තෙ පරිසුද්‍ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතුපක්කිලෙසෙ මුදුභුතෙ කම්මනියෙ ඨිතෙ ආනඤ්ජප්පත්තෙ ඉඬිවිධා චිත්තං අභිනීහරති”[401]

 

(මේ දේශනා පාළියෙහි පදයක් පාසා අර්ථ විවරණය මෙසේ යි.)

සො = ඒ අධිගමනය කළ චතුර්ථධ්‍යාන ඇති යෝගී තෙමේ

එවං = ප්‍ර‍ථමධ්‍යානාදි ක්‍ර‍මයෙන් මෙසේ (චතුර්ථධ්‍යානය ලැබ)

 

චිත්තේ = (රූපාවචර) චිත්තය

සමාහිතෙ = (චතුර්ථධ්‍යාන සමාධීන්) සමාධිමත් වූ කල්හි;

පරිසුද්‍ධෙ = (උපෙක්ඛා සති පාරිසුද්‍ධියෙන්) පිරිසිදු වූ කල්හි;

පරියොදාතෙ = පිරිසිදු හෙයින් ම ප්‍ර‍භාස්වර කල්හි;

අනඞ්ගනෙ* (පහ වූ රාගාදි) අඞ්ගණ ඇති කල්හි;

 

විගතූපක්කිලෙසෙ = (අනඞ්ගණ හෙයින් මැ) පහවූ උපක්ලේශ ඇති කල්හි)

 

මුදුභූතෙ = මනාකොට වඩනා ලද කල්හි; (වසී භෘවයට පැමිණියේ යයි කී නියා යි)

 

කම්මනියෙ ඨිතෙ = (මෘදු හෙයින් මැ) සෘද්‍ධිවිධඥාන කර්‍මයට යෝග්‍ය වැ සිටි කල්හි නොහොත් ;

 

කම්මනියෙ = (සෘද්ධිවිධඥාන කර්‍මයට) යෝග්‍ය කල්හි;

 

ඨිතෙ = (මේ පිරිසිදු බව් ආදියෙහි පිහිටි හෙයින්) සිටි කල්හි

 

ආනෙඤ්ජප්පත්තෙ = (ශ්‍ර‍ද්ධාදීන් පරිගෘහිත වන බැවින්) නිශ්චල බවට පැමිණි කල්හි;

 

විශේෂ :- මෘදු වූ සිත මනාව පිඹ තවාගන්නා ලද සුවර්‍ණයක් සේ කර්‍මණ්‍ය වෙයි. මනාකොට වඩන ලද හෙයිනි.

 

“නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමිං. යං එවං භාවිතං බහුලීකතං මුදුඤ්චෙව හොති. කම්මනියඤ්ච යථයිදං භික්ඛවෙ චිත්තං”[402]

 

‘මනාකොට මඩනා ලද සිත සේ මෘදු වූ කර්‍මණ්‍ය වූ අන්‍ය එක ම ධර්‍මයක් සර්‍වඥතාඥානයෙනුදු නොම දකිමි’යි එහෙයින් වදාළහ.

 

1.  ශ්‍ර‍ද්ධා පරිගෘහීත වූයේ අශ්‍ර‍ද්ධායෙන් නො සැලේ.

2.  වීර්‍ය්‍ය පරිගෘහීත වූයේ කුසීත බැවින් නො සැලේ.

3.  ස්මෘති පරිගෘහීත වූයේ ප්‍ර‍මාදයෙන් නො සැලේ.

4.  සමාධි පරිගෘහීත වූයේ උද්ධච්චයෙන් නො සැලේ.

5.  ප්‍ර‍ඥා පරිගෘහීත වූයේ අවිද්‍යාවෙන් නො සැලේ.

6.  ප්‍ර‍ඥාලෝකයෙන් පරිගෘහීත වූයේ ක්ලේශාන්‍ධකාරයෙන් නො සැලේ.

 

මේ ධර්‍ම සයෙන් (යුක්ත වූ) රුකුල් දෙන ලද සිත නිශ්චල බවට පැමිණියේ වෙයි.

 

යට කී අඞ්ග අටින් යුක්ත වූ චතුර්ථධ්‍යාන චිත්තය සෘද්‍ධිවිධාදි අභිඥාවනට නැමීමට හා එයට අභිමුඛ කිරීමට යෝග්‍ය වේ.

 

තවද ක්‍ර‍මයෙකි.

 

1.  චතුර්ථධ්‍යාන සමාධීන් සමාහිත වීම ය.

 

2.  නීවරණ විෂ්කම්භනයෙන් ප්‍ර‍ථමධ්‍යාන සමධිගමය වන හෙයින් පිරිසිදු බව ය.

3.  විතර්‍කාදි ඖදාරිකාඞ්ග ප්‍ර‍හාණයෙහි ද්විතීය ධ්‍යානාදිය වන හෙයින් ප්‍ර‍භාස්වර බව ය.

 

4.  ධ්‍යාන ප්‍ර‍තිලාභය නිසා වන ඉච්ඡා විඝාතාදීන් ගේ අභාවයෙන් අනඞ්ගණ බව ය.

 

5.  අභිධ්‍යා මායාදීන් ගේ අභාවයෙන් පහ වූ උපක්ලේශ ඇති බව ය. (මෙකී අනඞ්ගණ විගතූපක්කීලෙස භාවය අනඞ්ගණ සූත්‍ර‍[403] වත්‍ථ සූත්‍රාදීන්[404] දන්නේයි.)

 

6.  පඤ්චප්‍ර‍කාර වසී භාවයට පැමිණීමෙන් මෘදු බව ය.

 

7.  සෘද්ධිපාද භාවයට ආසන්න බවට පැමිණීමෙන් කර්‍මණ්‍ය බව ය.

 

8.  භාවනා පරිපූර්‍ණ බවට පැමිණීමෙන් ස්ථිර බව යැ යි මෙසේ තව ද ක්‍ර‍ම අටකින් යුක්ත වූ කල්හි චතුර්ථධ්‍යාන චිත්තය අභීනීහාරක්‍ෂම වේ.

 

අභිඥාවෙන් ප්‍ර‍ත්‍යක්‍ෂ කටයුතු ධර්‍මය අභිඥා ප්‍ර‍ත්‍යක්‍ෂ කරණය පිණිස ද පාදක ආසන්න කාරණ වේ.

 

ඉද්‍ධිවිධාය = සෘද්‍ධිවිධ ඥානය ලබනු පිණිස;

චිත්තං = පරිකර්‍ම චිත්තය;

අභිනීහරති = එළවයි;

අභිනින්තාමෙති = නමයි;

 

කසිණාලම්බනයෙන් ධ්‍යාන සිත වෙන් කොට සෘද්‍ධිවිධය පිණිස අභිමුඛ කොට ඉපදවිය යුතු සෘද්‍ධියට නැඹුරු කරන්නේය යනු භාව යි.

 

විශේෂ :- අභිමතාර්ථය නිපදවන අර්ථයෙන් ද, ලැබීම් අර්ථයෙන් ද, සෘද්‍ධි නම් වේ.

 

“කාමං කාමයමානස්ස තස්ස චෙතං සමිජ්ඣති”[405] පඤ්ච කාමය කැමතිවන්නා හට ඒ ලැබීමෙන් සමෘද්‍ධ වේ. යන තන්හි නිපදවීම් අර්ථයෙන් සෘද්ධි නමි.

 

නෙක්ඛම්මං ඉජඣතීති ඉද්ධි” යන තන්හි ලැබීම් අර්ථයෙන් සෘද්ධි නමි.

 

තවද ක්‍ර‍මයෙකි:- උපායසම්පත්ති අර්ථයෙන් සෘද්ධි නම් වේ. ඒ එසේමැ යි:- උපාය සම්පත්තිය අදහස් කරන ලද ඵලය ප්‍ර‍සව කරන හෙයින් සෘද්ධි නම් වේ.

 

ප්‍ර‍ව්‍ර‍ජ්‍යා - මාර්‍ග - ඵල ධර්‍ම අවසන්කොට ඇති නෙක්ඛම්මය ලබානුයි සෘද්ධි නම.

 

අර්‍හත් මාර්‍ග - ඵල ලැබීම අර්ථයෙන් ද, සෘද්ධි නමි.

 

“ඉජ්ඣිස්සති සීලවතො චෙතො පණිධි විසුද්‍ධත්තා”[406]

 

‘සීලවන්තයා ගේ චිත්තප්‍ර‍ණිධිය සමෘද්‍ධ වේ. පිරිසිදු හෙයිනි’

 

එතාය සත්තා ඉජ්ඣනතීති ඉද්‍ධි. “මෙයින් සත්ත්‍වයෝ වැඩෙත්නු යි” සෘද්ධි නම් වේ. මෙහි වැඩීම් අර්ථයෙන් සෘද්ධි නමි. මේ ඉද්‍ධි ශබ්දයාගේ අර්ථ විවරණය යි.

 

සෘද්ධිය දස වැදෑරුම් වේ.

 

1.  අධිටට්ඨාන ඉද්ධිය

2.  විකුබබ්බන ඉද්ධිය

3.  මනොමය ඉද්ධිය

4.  ඤාණ විප්ඵාර ඉද්ධිය

5.  සමාධි විප්ඵාර ඉද්ධිය

6.  අරිය ඉද්ධිය

7.  කම්මවිපාකජ ඉද්ධිය

8.  පුඤ්ඤචතො ඉද්ධිය

9.  විජ්ජාමය ඉද්ධිය

10.     සම්මාපයොගපච්චය ඉද්ධිය කියා යි.

 

1. “ස්වභාවයෙන් එකලා වූයේ සියයක් හෝ, දහසක් හෝ, දසදහසක් හෝ වෙමි යි” ආවර්‍ජනා කොට “බොහෝ වෙම්වා යි නුවණින් අධිෂ්ඨාන කරයි.” මෙසේ බෙදා දැක්වූ සෘද්ධිය අධිෂ්ඨාන කිරීම් වශයෙන් නිපදෙන හෙයින් අධිට්ඨා්න ඉද්ධි නම් වේ.

 

2. යම්කිසි ධ්‍යානලාභියෙක් තමා ප්‍ර‍කෘති වේශය හැරපියා කුමාර වේශයක හෝ නාග - සුපර්‍ණ-යක්‍ෂ-රාක්‍ෂසාදි වේශයක් හෝ නිර්‍මමිත කොට දක්වා නම්, එබඳු වූවහුගේ සෘද්ධිය ප්‍ර‍කෘති වර්‍ණය දුරුකරන විකාර විසින් පවත්නා බැවින් විකුබ්බන ඉද්ධි නම් වේ.

 

3. අභිඥාලාභී යම්කිසි මහණෙක් මේ ප්‍ර‍කෘති ශරීරයෙන් රූපී වූ අභිඥා සිතින් නිපදවන ලද අඞ්ග-ප්‍ර‍ත්‍යඞ්ග සම්පූර්‍ණ වූ අන්‍ය ශරීරයක් මවා නම් ඒ මනෝමය කාය නිර්‍මාණය කරන්නා වූ සෘද්ධි මනෝමය ඉද්ධි නම් වේ.

 

(සෙසු අධිෂ්ඨාන විකුර්‍වණයන්හි දු මෙම ක්‍ර‍මය වන හෙයින් මෙය මනෝමය ඉද්‍ධි නම් වනුයේ රූඨි හෙයිනි. ගමනාර්ථයෙන් සියලු සත්ත්‍වයින්ට සාධාරණ ‘ගො’ ශබ්දය මොල්ලි ආදිය ඇති ගෝ පිණ්ඩයෙහි මැ රූඪිවන්නා සේ යි. එසේ මැ සෘද්‍ධිමතුන් ගේ අභ්‍යන්තරයෙන් නිපන් ඔහු හා ඒකාන්තයෙන් සම වූ ඒ නිර්‍මාණය සිතින් මැ නිපද වූ බව ප්‍ර‍කට හෙයින් මෙනම් වී ඒ ව්‍යවහාරය අතිශයවත් හෙයිනි.

 

4. අර්‍හත් මාර්‍ගඥානලාභයට ප්‍ර‍ථම විදර්‍ශනා අවස්ථාවෙහි හෝ එයට පෙරැ පශ්චිම භවික සත්ත්‍වයා ගේ ප්‍ර‍තිසන්‍ධි ගැනීමෙහි සිට හෝ මාර්‍ගප්‍ර‍තිලාභයෙන් පසුව ස්කන්‍ධ පරිනිර්‍වාණය තෙක් හෝ අර්‍හත්මාර්‍ගඥානය ලබන කෙනෙහි හෝ ඒ ඥානානුභාවයෙන් ප්‍ර‍භාතව්‍ය ධර්‍මප්‍ර‍හාණය හා භාවිතව්‍ය ධර්‍ම භාවනාවෙහි සම්පූර්‍ණ කිරීම් වශයෙන් උපදනා විශේෂය ඤාණවිපඵාර ඉද්ධි නම් වේ.

 

උදාහරණ :- සූර්‍ය්‍යයා උදාවන කල එය සිටි තැන හා අවට ආලෝක කිරීමට සමර්ථ වන්නා සේ යි. බක්කුල ස්ථවිර, සංකිච්ච ස්ථවිර, භූතපාලදාරකාදීන්ගේ[407] ප්‍ර‍වෘත්ති එයට නිදර්‍ශනයි.

 

ඔවුනතුරෙන් බක්කුලස්ථවිර ඉතා ළදරු වූයේ මැ නම් තබන මගුල් දිනයෙහි ගංගාවෙහි නාවද්දී කිරිමව ගේ ප්‍ර‍මාදයකින් ගඟේ වැටුණේය. ඔහු ගඟැ මත්ස්‍යයෙක් ගිල බරණැස් තොටට පැමිණියේ ය. එහි දී ඒ මත්ස්‍යයා දැල් දමන්නෙක් අල්ලා සිටු භාර්‍ය්‍යාවට විකිණියේ ය. ඇය මැ මත්ස්‍යයා කපද්දී කුස වූ රන් පිළිමයක් බඳු කුමරුවා දැක “මම පුතකු ලදිමි”යි තුටු පහටු වූවා ය. මෙසේ බක්කුල තෙරුන් මත්ස්‍යයාගේ කුසෙහි නීරෝගවීම පශ්චිම භවිකත්‍වය නිසා ඒ අත්බැව්හි ලැබිය යුතු අර්‍හත් මාර්‍ගඥානානුභාවයෙන් නිපන් හෙයින් ඥානවිෂ්ඵාර සෘද්ධි නමි.

 

සංකිච්ච සාමණෙරයන් මව් කුස වසද්දී මැ මව කළුරියකළා ය. මළසිරුර දරසෑයෙහි හුලින් ඇන දවද්දී හුල්කොණ ඇසෙහි ඇනී ළදරුවා ශබ්ද කෙළේ ය. අනතුරුව මව් කුස පලා ළදරුවා ගෙන මිත්තණියට දුන්නේ ය. ඇය පෝෂණය කරන ලදින් වැඩිවිය පැමිණ පැවිදි වැ සිවුපිළිසිඹියා පත් රහත් විය. මෙසේ චිතකයෙහි දැවෙද්දී දී නො මැරී ජීවත්වීම යට කී සේ ඥානවිෂ්ඵාර සෘද්ධි නමි.

 

භූතපාල දරුවා ගේ පියා රජගහනුවර දර වෙළෙන්දෙකි. හෙතෙමේ වනයෙන් ගැළින් දරගෙන සවස නුවරට එනුයේ පිටිනුවර ගැළ සමීපයෙහි ළදරුවා හිඳුවා ගොනුන් සොයනු පිණිස නුවර වන් කල සවස නුවර දොර වැසීය. ළදරුවා සැඩ පරුෂ යකුන්ගෙන් ගහන වූ පිටිනුවර හුදෙකලාව නිරුපද්‍රිතවැ ඒ රැයෙහි විසීම ඥානවිෂ්ඵාර සෘද්ධියෙන් වූයේ ය.

 

5. ප්‍ර‍ථමධ්‍යානාදි සමධිගමයෙන් පළමු උපචාර අවස්ථායෙහි හෝ ආවර්‍ජනාදි පඤ්චවිධ වශීතාවයන් පුරුදු කළ පසුව හෝ සමාධිය ලැබූ කෙණෙහි හෝ ඒ ඒ ධ්‍යාන තේජසින් වූ නීවරණ විෂ්කම්භනය විතර්‍කාදි ධ්‍යානාංග ඉක්මවීම ය. නිරෝධ සමාත්ති කාලයෙහි උපද්‍ර‍ව නො පැමිණීම ය යනාදි ආනුභාව විශේෂ සමාධිවිප්ඵාර ඉද්ධි නම් වේ.

 

ඒ මෙසේ යි:- ‘ප්‍ර‍ථමධ්‍යානයෙන් නීවරණයන් ගේ ප්‍ර‍හාණාර්ථය සිදුකරන හෙයින් සමාධවිප්ඵාර ඉද්ධිය’ය යනාදි ක්‍ර‍මයෙන් - “නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයෙන් ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාව ගේ ප්‍ර‍හාණර්ථය සමෘද්‍ධවන අර්ථයන් සමාධිවිප්ඵාර ඉද්‍ධි නම් වේ. යනාදි ක්‍ර‍මයෙන් අෂ්ට සමාපත්තිම සමාධිවිප්ඵාර ඉද්ධි නම් වේ.

 

(1) ආයුෂ්මත් ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ ගේ ද

(2) ආයුෂ්මත් සඤ්ජීව ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ ගේ ද

(3) ආයුෂ්මත් ඛාණුකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ ගේ ද

(4) උත්තරා උපාසිකාවගේ ද

(5) සාමාවතිය ගේ ද සමාධිවිප්ඵාර ඉද්ධිය ය.[408]

 

(1) ආයුෂ්මත් ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ මහමුගලන් ස්ථවිරයන් වහන්සේ සමග ‘කාපොතකන්දරා’ නම් අරණ්‍යයෙහි අලුත කෙසේ බහන ලද හිසින් යුක්තව අභ්‍යවකාශයෙහි වැඩ වෙසෙන කල දුෂ්ට වූ යක්ෂයෙක් යහළු යකු වළකද්දී හිසට පහරක් ඇන්නේ ය. එය මහා මේඝ ගර්‍ජනාවක් සේ විය. ස්ථවිරයන් වහන්සේ එකෙණෙහි ධ්‍යානයට සමවැදුණු හෙයින්  මැ ඒ පහරින් කිසි පීඩාවක් නො වීය. මෙය උන්වහන්සේ ගේ විශේෂ සමාධිවිප්ඵාර ඉද්ධියය යි.

 

(2) නිරෝධ සමාපත්තියට සමවැදුණු සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ දැක කළුරිය කළහ’යි සිතා ගොපලු ආදීහු තණ රොඩු - ලී - ගොමරිටි ආදිය රැස් කොට ගිනි දැල්වූ නමුදු උන්වහන්සේ ගේ අනුපූර්‍ව සමාපත්ති වශයෙන් පැවති ශමථානුභාවයෙන් නිපන් හෙයින් සමාධිවිප්ඵාර ඉද්ධිය යි.

(3) ප්‍ර‍කෘතිමත් සමාපත්ති බහුල වූ ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ එක රැයෙක සමාධියට සමවැද හුන් සේක. පන්සියයක් සොරු බඩු සොරකම් කරගෙන යන ගමන් “දැන් අප ලුහුබඳනාහු නැතැ”යි ගිමන් හරිනු කැමැතිව බඩු බහා තබන්නාහු ‘කණුවකැ’යි සිතා තෙරුන්වහන්සේ ගේ මතුයෙහි සියලු බඩු පොදි දැමූහ. ගිමන් හැර යන්නට සූදානම් වූ ඔහු පළමු තුබූ බඩු ගන්නා කල පරිච්ඡේද වශයෙන් තෙරුන්වහන්සේ නැගිටි සේක. ඔහු තෙරුන්වහන්සේ සෙලවෙන කල ‘යකෙකැ’යි බිය වී කෑගැසූහ.

 

උපාසකවරුනි! භය නොවව්. “මම භික්‍ෂුවෙකිමි”යි කී කල ඔවුහු පැහැද තෙරුන් වහන්සේ වෙත පැවිදිව සිවුපිළිසිඹියාපත් රහත් වූහ.

 

මෙසේ බඩු පොදි පන්සියයකට යටවද පීඩාවක් නො වීම සමාධිවිප්ඵාර ඉද්ධිය යි.

 

(4) උත්තරා උපාසිකාවෝ පුණ්ණ සිටුහුගේ දියණියෝ ය. සිරිමා නම් ගණිකාව ඇය කෙරේ ඊර්‍ෂ්‍යාවෙන් කබලෙහි කකාල තෙල් හිසෙහි වත්කළාහ. උත්තරාවෝ එකෙණෙහි සමාධියට සමවැදුණා හ. පොකුරුපත දියත්තක් සේ තෙල් රූරා ගියේ ය. මේ ඇයගේ සමාධිවිප්ඵාර ඉද්ධිය යි.

 

(5) සාමාවතිය උදේන රජු ගේ අග මෙහෙසිය යැ. මාගන්‍දිය බමුණා තම දියණියට අග මෙහෙසුන් බව පතනුයේ රජුගේ වීණායෙහි නාගයකු බහා “මහරජ, සාමාවතිය ඔබ මරනු රිසියෙන් වීණායෙහි නයෙක් බහා ලද ලදැ”යි රජුට කීය. රජු ඒ දැක කිපී “සාමාවතිය මරමි”යි දුනුදිය නඟා විෂ පෙවූ හීයකින් විද්දේ ය. සාමාවතිය පිරිවර සහිත වැ රජු වෙත ඔදිස්සක වසයෙන් මෙත්තා සමාපත්තියට සමවැදුණාය.

 

රජු හීය විදින්නට හෝ බහන්නට හෝ නො හැකිවැ වෙවුලමින් සිටියේ ය. එකල දේවිය “මහරජ කිම? පෙළෙන්නෙහිදැ”යි විචාළා ය. එසේ ය පෙළෙමැ යි, රජු කීකල එසේ නම් “දුන්න වහා තබව”යි දේවිය කීවෙන් ඊය පාමුල හිණි. එකල දේවිය “නො කිපියහට නො කිපෙව”යි අවවාද කළා ය. මෙසේ රජුට ඊය විදිනු නොහැකි වීම සාමාවතිය ගේ සමාධිවිප්ඵාර ඉද්ධිය යි.

 

(6) පටික්කූලාදි අනිෂ්ට අරමුණෙහි අපටික්කූලතාදිය ඇතිවැ විසීම ආර්‍ය්‍ය සෘද්ධි නම.

 

අන්‍ය සත්ත්‍වයන්ට පළමුව පටිකූල අරමුණ අපටික්කූලව ද, අපටික්කූල අරමුණ පසුව පටික්කූලව ද වැටහේ. ක්‍ෂීණාශ්‍රාවයෝ කැමති සේ පටික්කූල සඤ්ඤිව හෝ අපටික්කූල සඤ්ඤීව හෝ වාසය කරන්නෝ වෙති.

 

විස්තර :- ආර්‍ය්‍ය සෘද්ධිය කවරේද? “මේ ශාසනයෙහි ක්‍ෂීණාශ්‍ර‍ව තෙමේ පටික්කූලයෙහි අපටික්කූල සඤ්ඤීවැ වෙසෙම් නම් මැනවැ යි සිතා ඒ ප්‍ර‍තිකූල අරමුණෙහි අප්‍ර‍තිකූල සඤ්ඤීවැ වෙසේ. එසේ ම ඒ ප්‍ර‍තිකූල - අප්‍ර‍තිකූල සියලු අරමුණෙහි ෂඩඞ්ගෙපේක්‍ෂාවෙන් යුක්ත වැ වාසය කරන්නේ ය.” මෙම චිත්ත වශී භාවය රහතුන්ට සම්භව වන හෙයින් ආර්‍ය්‍ය සෘද්ධි නම.

 

කථං පටික්කූලෙ අපටික්කූල සඤ්ඤී විහරති. අනිට්ඨස්මිං වත්‍ථුස්මිං මෙත්තාය වා ඵරති. ධාතුසො උපසංහරති.[409]

 

මේ ආර්‍ය්‍ය සෘද්ධියෙන් යුක්ත වූ ක්‍ෂීණාශ්‍ර‍ව තෙමේ නො කැමැති වූ සතුරු අරමුණෙහි මෛත්‍රිය පතුරුවා වාසය කෙරේ.

 

අශුචි ආදි පිළිකුල් අරමුණෙහි ධාතුමනසිකාර විසින් අප්‍ර‍තිකූල වැ වෙසේ. එසේ මැ අප්‍ර‍තිකූල වූ ඥාතිමිත්‍රාදි ඉෂ්ට අරමුණෙහි දෙතිස් කුණප කොටස් වශයෙන් ගෙන අශුභ වශයෙන් හෝ බලමින් වෙසේ. අනිත්‍යාදි වශයෙන් පටික්කූල වශයෙන් හෝ මෙනෙහි කෙරේ. එසේ පටික්කූල-අපටික්කූල සියලු අරමුණෙහි මෛත්‍රී වශයෙන් හෝ ධාතු මනසිකාර වශයෙන් හෝ අප්‍ර‍තිකූල වශයෙන් බලන්නේ ය. තවද පටික්කූල - අපටික්කූල සියලු අරමුණෙහි අශුභ වශයෙන් හෝ අනිත්‍යාදි වශයෙන් හෝ බලමින් ප්‍ර‍තිකූල සංඥා ඇති වැ වසන්නේ ය.

 

ෂඩඞ්ගොපෙක්‍ෂාව “චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති”[410] යනාදීන් වදාළ පරිදි ‘චක්ඛුවිඤ්ඤාණයෙන් හෝ චක්ඛුප්පසාදයෙන් හෝ රූපාලම්බනයක් දැක ගේහසිත ප්‍රේම වශයෙන් සොම්නස් නො වැ ප්‍ර‍තිඝවශයෙන් දොම්නස් නො වැ ඉෂ්ටානිෂ්ට සියලු අරමුණෙහි පිරිසිදු ප්‍ර‍කෘතිය නො හැරීම් ලක්‍ෂණ වූ ෂඩ්ද්වාරයෙහි පැවැති ෂඩඞ්ගොපේක්‍ෂාව යැ යි කියන ලද තත්‍ර‍මධ්‍යස්ථායෙන් යුක්ත වැ හෝ වාසය කරන්නේ ය.’ මේ අනුභාවය චෙතො වසිප්පත්ත රහතන්ට මැ ලැබෙන හෙයින් අර්‍ය්‍ය සිද්ධි නම.

 

      7. කර්‍මවිපාකජ සෘද්ධිය :- පක්‍ෂි ආදීන්ගේ අහසින් යාම් ආදිය කම්මවිපාකජ ඉද්ධි නම් වේ.

     

විස්තර :- සියලු පක්‍ෂීන්ගේ ද, සියලු දෙවියන්ගේ ද, ආදිකල්පිකාදි වශයෙන් දත යුතු ඇතැම් මනුෂ්‍යයන්ගේ ද, ඇතැම් විනිපාතිකයන්ගේ ද (කුශල කර්‍මයෙන් ඉපිද අකුශල විපාකයෙන් දුක් විඳිනා ප්‍රේත විශේෂය විනිපාතික නම් වෙයි) අහසින් යාම පිරිසිදු ඇස් ඇතිවීමාදිය කර්‍මවිපාකජ සෘද්ධි නම් වේ.

 

මේ ආදිය සඳහා ඉවහල් වූ අභිඥාපාදක ධ්‍යානයන් හෝ උද්වේග ප්‍රීති සහිත විදර්‍ශනාවක් හෝ නැතිවැ මොවුන් ගේ අහසින් ගමන වේ. එසේ මැ පියඞ්කරමාතා[411] උත්තරමාතා[412] පුනබ්බසුමාතාදි2 යකින්නන් ගේ හා වෙමානික ප්‍රෙතයන්ගේ ද අහසින් යාම දිවැසින් තොර වැ තියුණු ඇසින් බැලීම යනාදිය කර්‍මවිපාකජසෘද්ධි ය යි.

 

8. පුණ්‍යවත්හු ගේ සෘද්ධිය

“කතමා පුඤ්ඤවත්තො ඉද්‍ධි රාජාචක්කවත්ති වෙහාසං ගච්ඡති සද්‍ධිං චතුරඞ්ගිනියා සෙනාය අන්තමසො සද්‍ධි අස්සබන්‍ධ ගොබන්‍ධ පුරිසෙ උපාදාය.”[413]

 

‘සක්විති රජ සිවුරඟ සෙනඟ හා යටත් පිරිසෙයින් අස් ගොව්වන් ගොපල්ලන් ද ඇතුළු රජ පිරිස් සමග අහසින් යයි. මෙසේ සක්විති රජහු ගේ අහසින් යෑම පුණ්‍යවත්හු ගේ සෘද්ධිය බැවින් පුඤ්ඤවතො ඉද්ධි නම් වේ.

 

තවද - ජෝතිය, ජටිල, ඝෝසිත, මෙණ්ඩක ගෘහපති[414] යන මොවුන්ගේ හා මහපිණැතියන් පස්දෙනා4 ගේ සෘද්ධිය පුණ්‍යවත් සෘද්ධිය යි. මුහුකුරා ගිය පුණ්‍යසම්භාර ඇති කල්හි සමෘද්ධ වන්නා වූ අනුභාව විශේෂය සංක්‍ෂේපයෙන් පුණ්‍යවත් සෘද්ධි නම් වෙයි.

 

ඉන් ජෝතිය ගෘහපතියාට මාණික්‍යමය ප්‍රාසාදය හා සූසැටක් කලපවෘක්‍ෂ පොළොව පළාගෙන නැගීම යැ.

 

ජටිල ගෘහපතියාට කොතෙක් ගත ද නො ගෙවෙන අසූරියන් පමණ ඝන රන් පර්‍වතයක් පැන නැගීම යැ.

 

ඝෝසිත මරනු පිණිස සත් තැනෙක දමා උපක්‍ර‍ම යෙදුව ද, කිසි දුකකට නො පැමිණීම ය.

 

මෙණ්ඩක සිටුහට එක් කිරියක් පමණ තැන සත්රුවන් මුවා එළුවන් පැනනැගීම යැ යන මෙතෙක් දෑ පුණ්‍යවත් සෘද්ධිය යි.

 

මහ පිනැති පස්දෙනා නම්

මෙණ්ඩක සිටු ය, ඔහු භාර්‍ය්‍යා චන්‍ද්‍ර‍පද්මශ්‍රීදේවිය ය, පුත්‍ර‍ ධනඤ්ජය සිටු ය, ලෙහෙලී සුමනා දේවිය, දාස පූර්‍ණය යන මොහු ය.

 

ඔවුනතුරින් සිටුතෙමේ ඉස්සෝධා නහා අහස බැලූ කල අහසින් බට රත්හැල් දොළොස් දහස් පන්සියයක් කොටුගුල් පුරවා ලයි.

 

භාර්‍ය්‍යාව සහල් නැලියකින් පිසූ බත් ගෙන සියලු දඹදිව වැස්සන් අනුභව කරවුව ද, නිමාවට නොයේ,

 

පුත්‍ර‍යා දහසින් බැඳි පියල්ලක් ගෙන සියලු දඹදිව් වැස්සනට දුන ද, නිමාවට නො යේ.

 

ලෙහෙලිය එක් වී තිඹක් ගෙන සියලු දඹදිව් වැස්සනට දුන ද නො නිමේ.

 

දාසයා එක් නගුලක් ගෙන සෑ කල ඔබින් සතෙක මොබින් සතෙකැ යි සීවැල් තුදුසක් (14) පැනේ, මේ පුණ්‍යවතුන් පස්දෙනාගේ සෘද්ධිය යි.

 

9.  විද්‍යාමය සෘද්ධිය

“කතමා විජ්ජාමයා ඉද්ධි විජ්ජාධරා විජ්ජං පරිජපිත්‍වා වෙහාසං ගච්ඡන්ති ආකාසෙ හත්‍ථිම්පි දස්සෙන්ති. -පෙ- විවිධම්පි සෙනාබ්‍යුහං දස්සෙන්ති”[415]

 

“විද්‍යාධරාදීන් ගේ මන්ත්‍ර‍ බලයෙන් අහසින් යාම් ආදිය විජ්ජාමය ඉද්ධිය යි. විද්‍යාධරයෝ ගන්‍ධාරි විද්‍යාදි විද්‍යා ජපකොට මන්ත්‍ර‍ කියා ඒ අනුභාවයෙන් අහසින් යෙති. අහස්හි අතුන් අසුන් ආදි සිවුරඟ සෙනඟ දක්වති.”

 

10.     සම්මා පයොග පච්චය ඉද්ධිය

ඒ ඒ තන්හි සම්‍යක් ප්‍රයෝගයෙන් කැමති දැය සමෘද්ධ වීම (ඒ ඒ කටයුත්තෙහි මනාව යෙදීමට හේතුවන හෙයින්) සෘද්ධි නම් වේ.

 

“නෙක්ඛම්මෙන කාමච්ඡන්‍දස්ස පහානට්ඨො ඉජ්ඣතීති තත්‍ථ තත්‍ථ සම්මා පයොගපච්චයා ඉජ්ඣණඨෙන ඉද්‍ධි -පෙ- අරහත්ත මග්ගෙන සබ්බ කිලෙසානං පහනඨො ඉජ්ඣතී ති තත්‍ථ තත්‍ථ සම්මා පයොගපච්චයා ඉජ්ඣනඨෙන ඉද්‍ධි.”1

 

“නෙක්ඛම්ම සඞ්ඛ්‍යාත ප්‍ර‍ථමධ්‍යානයෙන් කාමච්ඡන්‍ද නීවරණ ප්‍ර‍හාණ කිරීම් සඞ්ඛ්‍යාත අර්ථය සිද්ධවන හෙයින් සෘද්ධි නම් වේ. යනාදීන් ඒ ඒ කටයුත්තෙහි ක්‍ර‍මානුකූල වැ යෙදීමෙන් ඒ ඒ අර්ථය සමෘද්ධවන හෙයින් සෘද්ධි නම් වේ. -පෙ-රහත් මගින් සියලු කෙලෙසුන් ගේ ප්‍ර‍හාණාර්ථය සිද්ධවන හෙයින් සෘද්ධි නම් වේ යැයි, දතයුතු.

 

මේ දසවන සෘද්ධියෙහි සම්‍යක් උපාය යෙදීම යැ යි කියන ලද න්‍යායානුගත ප්‍ර‍තිපත්තියෙන් සමෘද්ධ වන හෙයින් සෘද්ධි නමැ යි කීවා වේ.

 

විශේෂ :- ප්‍ර‍තිපත්ති සඞ්ඛ්‍යාත සම්‍යක් ප්‍රයෝග ප්‍ර‍කාශ කිරීම් වශයෙන් පෙරැ සමාධි විප්ඵාර ඉද්ධි ආදීන්ගේ නිර්‍දෙශයට සමාන වැ පෙළ ආයේය. එහෙත් අටුවායෙහි[416] ශකට රචනාදි වශයෙන් යම්කිසි ශිල්පයක් හෝ ත්‍රිපිටකය ඉගෙනීමක් හෝ වෛද්‍ය කර්මාදියක් හෝ ත්‍රිවේදය ඉගෙනීමක් හෝ යටත් පිරිසෙයින් සීසෑම්-වැපිරීම් ආදිය පටන් ඒ ඒ කර්‍මාන්ත කොට හටගත් විශේෂය ඒ ඒ කටයුත්තෙහි සම්‍යක් ප්‍රයෝග ප්‍ර‍ත්‍යයයෙන් සමෘද්ධ වන අර්ථයෙන් සෘද්ධිය යි ආයේ ය.

 

මෙසේ මේ දශවිධ සෘද්ධීන් අතුරින් “ඉද්‍ධිවිධාය,” යන මේ පදයෙහි අධිඨාන ඉද්ධිය මැ ආයේ ය. මෙහිලා විකුර්‍වණ මනොමය සෘද්ධීන් ද කැමති විය යුතු.

 

“සො අනෙක විහිතං ඉද්‍ධිවිධං පච්චනුහොති. එකොපි හුත්‍වා බහුධා හොති”[417] මෙසේ සිත් නැමූ යෝගී තෙමේ අනේකවිධ වූ සෘද්ධි කොට්ඨා්සය නාමකයෙන් ප්‍ර‍ත්‍යක්‍ෂ කරයි. කෙසේද යත්:- තෙමේ පෙර හුදෙකලා වැ සිට පසු වැ බොහෝ වෙයි, මේ මෙසේ වන්නේ කෙසේදයත්:-

 

විස්තර මෙහිලා

1.  සෘද්ධිය හටගැනීමට සුදුසු භූමි සතර ය.

2.  පිහිටීමට සුදුසු පාද සතර ය.

3.  හේතු වූ පද (කාරණ) අට ය.

4.  මුල් සොළොස ය.

 

යන මෙතෙක් දෑ සම්පාදනය කොට නුවණින් අධිෂ්ඨාන කරන්නේ සිය දෙනෙක් දහස් දෙනෙක් වන්නේ ය.

 

1. මෙහි ප්‍ර‍ථමධ්‍යානාදි ධ්‍යාන සතර භූමි සතර ය. එම වදාළහ. දම් සෙනෙවි සැරියුත් ස්වාමීහු.

 

“ඉද්‍ධියා කතමා චතස්සො භූමියො. විවෙකජ භූමි පඨමජ්ඣානං පීති සුඛ භූමි දුතියජ්ඣානං, උපෙක්ඛා සුබ භූමි තතියජ්ඣානං, අදුක්ඛමසුඛ භූමි චතුත්‍ථජ්ඣාන, ඉද්‍ධියා ඉමාචතස්සො භූමියො.”[418]

 

‘පඤ්චනීවරණ විෂ්කම්භනයෙන් හටගත් හෙයින් ප්‍ර‍ථම ධ්‍යානය විවේකජ භූමි නම. පීති සුඛ සහජාත හෙයින් ද්විතීය ධ්‍යානය පීති සුඛ භූමි නම. උපෙක්ඛාසුඛ සහජාත හෙයින් තෘතීයධ්‍යානය උපෙක්ඛාසුඛ භූමි නම, හුදු උපෙක්ඛා සහජාත හෙයින් චතුර්ථධ්‍යානය අදුක්ඛමසුඛ භූමි නම, මේ සතර භූමිහුය.” (මොවුන් සෘද්ධි නමැති වෘක්‍ෂයන් සිටුවීමට තෝතැනි බඳු හෙයිනි.)

 

සෘද්ධි අධිගමය පිණිස ද, නැවත නැවත ලැබීම පිණිස ද, විවිධ රූප මැවීම් සඞ්ඛ්‍යාත විකුර්‍වණය පිණිස ද, නොයෙක් ආනිසංස පිණිස ද, වහා පැමිණීම් සඞ්ඛ්‍යාත වශී භාවය පිණිස ද, ප්‍ර‍තිපක්‍ෂ ධර්‍ම දුරුකිරීමෙන් විසාරද බව පිණිස ද, මේ චතුර්ථධ්‍යාන පිහිට වන බැවින් භූමි නම් වේ.

 

විශේෂ :- ප්‍ර‍ථමධ්‍යානාදි තුන සෘද්ධියට සම්භාර භූමීහු ය. මේ තුන් ධ්‍යානයට සමවැදීමෙන් ක්‍ර‍මයෙන් සැප බවට හා සැහැල්ලු බවට පැමිණි නාමකාය රූපකාය අත්තහුගේ සිත හාත්පසින් දමනය වේ. චතුර්ථධ්‍යානය සුවසේ සෘද්ධි ප්‍ර‍තිලාභය පිණිස පවතී. එහෙයින් චතුර්ථධ්‍යානය සෘද්ධි ප්‍ර‍තිලාභය පිණිස ප්‍ර‍කෘති භූමිය යි.

 

2. පාද නම්

(i) සමෘද්ධ වේනුයි, හෝ

(ii) ‘මේ කරණකොටගෙන සත්ත්‍වයෝ උත්කර්‍ෂවත් බවට පැමිණෙත්නුයි’ හෝ සෘද්ධි නම් වේ.

 

(i) (ප්‍ර‍ථම අර්‍ථයෙන්) සෘද්ධිය ම පාද වූයේ සෘද්ධි පාද ය. සෘද්ධි කොට්ඨාසය යන අර්‍ථ ය.

 

(ii) සෘද්‍ධියට පාද වූයේ සෘද්ධි පාද නමි. සෘද්ධි අධිගමන උාය යන අර්‍ථ යි.

“ඉද්‍ධියා කතමෙ චත්තාරො පාදා ඉධ භික්ඛු ඡන්‍ද සමාධි පධාන සඞ්ඛාර සමන්තාගතං ඉද්‍ධි පාදං භාවෙති. විරිය-චිත්ත-වීමංසා සමාධිපධානසඞ්ඛාර සමන්තාගතං ඉද්‍ධිපාදං භාවෙති. ඉද්‍ධියා ඉමෙ චත්තාරො පාදා -පෙ- ඉද්‍ධිවෙසාසාරජ්ජාය සංවත්තන්නි.”[419]

 

සතර පාදයෝ නම් සෘද්ධි පාදයෝ යි. එයින් වදාළ හ.

 

‘මේ සසුනෙහි යෝගාවචර භික්‍ෂුතෙමේ ඡන්‍දය අධික කොට ඇති එකාග්‍ර‍තාව ප්‍ර‍ධානකොට පටන් ගන්නා සංස්කාරයෙන් යුක්ත වූ සෘද්ධිපාදය වඩන්නේ වෙයි. එබඳු වූ ම වීර්‍ය්‍ය, චිත්ත, ප්‍ර‍ඥා යන තුනින් එකක් එකක් ප්‍ර‍ධානකොට ඇති සංස්කාරයෙන් යුක්ත සෘද්ධිපාදය වඩන්නේ වෙයි ද? මොහු යැ සතර ඉද්ධිපාදයෝ නම් මොහු සෘද්ධි වෛශාරද්‍යය පිණිස පවතිත්.

 

පදයක් පාසා විස්තරාර්ථ මෙසේ යි.

 

ඡන්‍ද සමාධි = පූර්‍වභාගයෙහි පැවැති කත්තුකම්‍යතා ඡන්‍දය හේතුකොට ඇත්තා වූ ඒකාග්‍ර‍තාව ඡන්‍දසමාධි නමි.

 

පධාන සඞ්ඛාර = ප්‍ර‍ධාන වූ හේ ශ්‍රේෂ්ඨ වූ චතුර්විධ වීර්‍ය්‍යය ඒ ඒ කෘත්‍යය සිද්ධකරන හෙයින් පධාන සංඛාර නමි.

 

සමන්තාගතා = ඡන්‍ද සමාධියෙන් හා ප්‍ර‍ධාන සඞ්ඛාරයෙන් යුක්ත වූ;

 

ඉද්‍ධිපාදං = නිෂ්පත්තික්‍ර‍මයෙන් හෝ අභිමතාර්ථය සමෘද්ධ වන අර්ථයෙන් හෝ සෘද්ධි නම් වූ අභිඥා චිත්තයෙන් යෙදුණු ඡන්‍ද-සමාධි-ප්‍ර‍ධාන සංස්කාරයන්ට ආධාරාර්ථයෙන් ‘සෙසු චිත්ත-චෛතසික රාශිය පාදයක් වූයේනුයි. ඉද්‍ධිපාද නම් වේ. මෙසේ ඡන්‍දාදි ධර්‍මයන් ලබමින් සිටියහු ගේ වේදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණක්ඛන්‍ධ යන සතර නාම ස්කන්ධයේ සෘද්‍ධිපාද නම් වන්නාහ යි වදාරන ලදි.

 

තව ද අර්ථයෙකි = මේ කරණකොට සෘද්ධියට පැමිණේනුයි පාද නමි. සෘද්ධිහුගේ පාදය සෘද්ධි පාදය යි. ඡන්‍දාදීන්ට මේ නමෙකි.

 

එහෙයින් වදාළහ.

 

“ඡන්‍ද චෙ භික්ඛවෙ භික්ඛු නිස්සාය ලභති සමාධිං ලභති චිත්තස්සෙකග්ගතං අයං වුච්චති ඡන්‍ද සමාධි. සො අනුප්පන්තානං පාපකානං අකුසලානං ධම්මානං -පෙ- පදහති. ඉමෙ වුච්චන්ති පධාන සඞ්ඛාරා ඉති අයඤ්ච ඡන්‍දො අයඤ්ච සමාධි ඉමෙච පධානසඞ්ඛාරා අයං වුච්චති භික්ඛවෙ ඡන්‍දසමාධිපධානසඞ්ඛාර සමන්නාගතො ඉද්‍ධිපාදොති.”[420]

 

‘ඒ භික්‍ෂුව ඡන්‍දය නිසා සමාධිය ලබන්නේ වේද චිත්තයාගේ එකඟ බව ලබන්නේ වේද එහෙයින් ඒ ධර්‍මය ඡන්‍ද-සමාධි නම් වේ. ඒ භික්‍ෂුව නූපන් අකුසල් නූපදීම පිණිස, උපන් අකුසල් ප්‍ර‍හාණය පිණිස, නූපන් කුසල් ඉපදීම පිණිස උපන් කුසල් වැඩීම පිණිස වෑයම් කරයි ද එහෙයින් ඒ ධර්‍ම     යෝ ප්‍ර‍ධාන සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ ඡන්‍දය ද, මේ සමාධිය ද, මේ සඞ්ඛාරයෝ දැ යි මෙතෙක් ධර්‍මයන් ගේ සමුදාය ඡන්‍ද සමාධි පධාන සඞ්ඛාර සමන්තගත ඉද්‍ධිපාදය යි කියනු ලැබේ. මෙසේ සෙසු ඉද්ධිපාදයන්ගේ ද අර්ථ අත යුතු.

 

3. පද අට නම් = සෘද්ධියට හේතු වූ ඡන්‍දාදි පද අට මැ යි.

 

එයින් වදාළහ

 

“ඉද්‍ධියා කතමානි අට්ඨපදානි ඡන්‍දඤ්චෙ භික්ඛු නිස්සාය ලභති සමාධිං ලභති චිත්තස්සෙකග්ගතං. ඡන්‍දො න සමාධි, සමාධි න ඡන්‍දො, අඤ්ඤො ඡන්‍දො අඤ්ඤො සමාධි, විරියං චෙ භික්ඛු -පෙ- චිත්තඤ්චෙ - භික්ඛු වීමංසංචෙ භික්ඛු නිස්සාය ලභති සමාධිං ලභති චිත්තස්සෙකග්ගතං. විමංසා න සමාධි, සමාධි න විමංසා. අඤ්ඤා වීමංසා. අඤ්ඤො සමාධි. ඉද්‍ධියා ඉමානි අට්ඨපදානි පටිලාභාය -පෙ- ඉද්‍ධිවෙසාරජ්ජාය සංවත්තන්ති”[421]

 

‘මේ ශාසනයෙහි යෝගාවචර භික්‍ෂුතෙම ඡන්‍දය නිඃශ්‍ර‍ය කොට (සමාධිය) චිත්තයා ගේ එකඟ බව ලබන්නේ වේ ද ඒ ඡන්‍දය සමාධි නම් නො වේ. සමාධිය ද ඡන්‍දය නො වේ. ඡන්‍දය අනිකෙක. සමාධිය අනිකෙක. එසේ ම වීර්‍ය්‍යය ද, චිත්තය ද, ප්‍ර‍ඥාව ද, නිශ්‍ර‍ය කොට (සමාධිය) චිත්තයාගේ එකඟ බව ලබන්නේ වේ ද ඒ වීර්‍ය්‍ය-චිත්ත-ප්‍ර‍ඥාවෝ, සමාධි නම් නො වෙති. සමාධීහු ද වීර්‍ය්‍ය-චිත්ත-ප්‍ර‍ඥාවෝ නො වෙති. වීර්‍ය්‍ය-චිත්ත-ප්‍ර‍ඥාවෝ අනෙක් ධර්‍ම කෙනෙක. සමාධීහු අන්‍ය ධර්‍මයෝ යැ. මොහු අට දෙන සෘද්‍ධිහුගේ පදයෝ යි.’

 

ඡන්‍දාදි සතර තන්හි වූ සමාධිය සමාධිහුම ය. එහෙත් සෘද්ධිය උපදවනු කැමති ඡන්‍දාදිය සහිත වූ සමාධිය සෘද්ධි ප්‍ර‍තිලාභය පිණිස හේතු වේ. හුදෙකලා වූයේ හේතු නොවේ. මෙසේ ඡන්‍දාදි සහිත වූ මේ සතර සමාධිය ද ඡන්‍දාදි සතර දැ යි අටදෙන “මොවුන් කරණකොට සෘද්ධියට පැමිණෙත්නු යි” හෝ “තුමූ සෘද්ධි ප්‍ර‍තිලාභය පිණිස පවතිත්නු යි” හෝ ඉද්ධිපදය යි කියනු ලැබෙත්.

 

විස්තර :- ඡන්‍දාදි සතර හා ඒ සතරෙහි යෙදුණු ඒකාග්‍ර‍තා සතර ද යන අට ඉද්ධිපද නම් වේ. ඡන්‍දය සමාධියෙන් වෙන් ව, සමාධිය ඡන්‍දයෙන් වෙන්ව ද, ඉද්ධිය නිපදවීමට අසමර්ථ හෙයින් ඉද්ධිපද නො වේ. එහෙයින් මෙසේ එක්ව උපදනා ඡන්‍දාදි සතර හා ඒකාග්‍ර‍තා සඞ්ඛ්‍යාත සමාධිය ද සෘද්ධිප්‍ර‍තිලාභයට සමර්ථ හෙයින් ඉද්ධිපද නම් වෙති.

 

4. සොළසමූල[422] නම් ධ්‍යාන චිත්තය නො සැලෙන සේ පවත්නා සොළොස් ධර්‍මයෝ යි.

 

(1) වීර්‍ය්‍යයෙන් වඩනා ලද සිත කුසීතභාවයෙන් නො නැමුණු හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(2) සන්සුන් වූසිත ඖද්ධත්‍යයෙන් උඩට නො නගන ලද හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(3) අරමුණෙහි නො ඇලුණු සිත රාගයෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(4) ක්‍රෝධයෙන් දූෂණය නො වූ සිත ව්‍යාපාදයෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(5) දෘෂ්ටියෙන් අල්වා නො ගන්නා ලද සිත මිථ්‍යාදෘෂ්ටියෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(6) ඡන්‍ද රාගයෙන් නො බැඳුණු සිත ඡන්‍දරාගයෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(7) කාමරාගයෙන් මිදුණු සිත කාමරාග නිමිත්තෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(8) සතර යෝගයන්ගෙන් වෙන් වූ සිත කෙලෙස් නිමිත්තෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(9) ස්වල්ප වූ කෙලෙස් කොටසින් නො සැලෙන සිත කෙලෙස් සීමාවෙන් අකම්ප්‍ය හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(10) එකඟ බවට පැමිණි සිත නොයෙක් කෙලෙසුන්ගෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(11) ශ්‍ර‍ද්ධාවෙන් රුකුල් දෙන ලද සිත අශ්‍ර‍ද්ධාවෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(12) වීර්‍ය්‍යයෙන් රුකුල් දෙන ලද සිත කුසීත බැවින් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(13) ස්මෘතියෙන් රුකුල් දෙන ලද සිත ප්‍ර‍මාදයෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(14) සමාධියෙන් රුකුල් දෙන ලද සිත ඖද්‍ධත්‍යයෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(15) ප්‍ර‍ඥාවෙන් රුකුල් දෙන ලද සිත දුර්‍වල අවිද්‍යාවෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.

 

(16) ඔභාසගත හිත (බලවත් අවිද්‍යාවෙන්) අවිද්‍යාන්‍ධකාරයෙන් නො සැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ. යන මේ ධර්‍මයෝ සෘද්ධි මූලයෝ යි. මේ ධර්‍මයෝ සෙළොස් (16) දෙන සෘද්ධිහුගේ නො සැලීම පිණිස පවත්නාහ.

 

විශෙෂ :- රාගය ආලය වශයෙන් බාහිරාලම්බනයෙහි උපදී   

 

ඡන්‍දරාගය - සම්බන්ධ විසින් සත්ත්‍වයන් කෙරෙහි උපදනේ යි.

 

කාමරාගය - මෛථුන රාගය ය. මේ අර්ථය පෙර “එවං සමාහිතෙ චිත්තෙ” යනාදි පාඨයෙහි “ආනෙඤ්ජප්පත්තෙ” යන්නෙන් සිද්ධ නමුදු ප්‍ර‍ථමධ්‍යානාදීන් ගේ සෘද්‍ධියට “භූමි පාද-පද-මූල” භාවයන් දක්වනු දක්වනු පිණිස නැවත කියන ලද බැව් දත යුතු.

 

(2) තවද “ශ්‍ර‍ද්ධාදීන් පරිගෘහීත බැවින්” යනාදීන් පෙර කී සයාකාරයෙන් දැධ්වූ ක්‍ර‍මය සූත්‍රයෙහි ආ පිළිවෙළ දක්වනු පිණිස කියනලදී. මේ සොළොස් (16) ක්‍ර‍මය ප්‍ර‍තිසම්භිදා මාර්‍ගයෙහි ආ ක්‍ර‍මය දැක්වීම පිණිස කියන ලදී. එහෙයින් සූත්‍ර‍-ප්‍ර‍තිසම්භිදා දෙක්හි මුළා නො වීම පිණිස නැවත කියන ලද බව දතයුතු

 

ඤාණෙන අධිට්ඨාහන්තො = නුවණින් අධිෂ්ඨාන කරනුයේ, ඒ යෝගාවචර තෙමේ සෘද්‍ධිය පිළිබඳ මූලධර්‍ම මෙසේ සම්පාදනය කොට අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැද එයින් නැගී සියයක් වනු කැමති නම් “සියයක් වෙමි”යි කාමාවචර සිතින් මෙනෙහි කිරීමෙන් පරිකර්‍ම කොට නැවත ආවර්‍ජනා කොට අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැද එයින් නැගී “සියයක් වෙමි”යි ඉටයි ඒ අධිඨාන චිත්තය සමග සියයෙක් වේ. “දහසෙක් වෙමි”යි යනාදීන්හි ද, පරිකර්‍මාදිය මෙසේ මැයි.

 

මෙසේ අභිමතාර්ථසිද්‍ධිය නො වී නම් නැවත ද පිරියම් කොට දෙවෙනි තුන්වැනි ආදි වශයෙන් සිද්ධවනතාක් ඉටන්නේ ය.

 

මතභේද:- සංයුත් අටුවායෙහි වනාහි “එක්වරක් දෙවරක් සමවැදිය යුතු”ය යි කියන ලදී. ඒ අටුවාහි “පාදක ධ්‍යාන චිත්තය ප්‍ර‍තිභාග නිමිත්ත නම් වූ කසිණාලෝකය අරමුණු කෙරේය යි ද, පරිකර්‍ම චිත්තයන් සිය දෙනෙකුන් හෝ දහස් දෙනෙකුන් හෝ අරමුණුකර පවතී ය යි ද යෙති. ඒ පරිකර්‍ම සිත් ද තමන් විසින් කල්පනා කරන ලද වර්‍ණ වශයෙන් මැ උපදී. දිව්‍ය මනුෂ්‍යාදි ප්‍ර‍ඥප්ති වශයෙන් නොවේමැයි. අධිඨාන චිත්තය ද එසේ ම සියයක් හෝ අදහසක් අරමුණු කරන්නේ ය හෙද පෙර කී අර්පණා චිත්තය මෙන් ගෝත්‍ර‍භු චිත්තයට අනතුරු වැ චතුර්ථධ්‍යානික එක ම සිතක් උපදනේ”යැ යි කියනු ලැබේ. එහෙත් - ප්‍ර‍තිසම්භිදායෙහි:-

 

“පකතියා එකො බහුකං ආවජ්ජෙති. සතංවා සහස්සංවා සතසහස්සං වා ආවජ්ජිත්‍වා ඤාණෙන අධිට්ඨාති. බහුකො හොමීති බහුකො හොති. යථා ආයස්මතො චූලපන්‍ථකස්ස.[423]

 

‘ස්වභාවයෙන් එකකු වැ සියයක් හෝ දහසක් හෝ පක්‍ෂයක් හෝ වෙමි යි ආවර්‍ජනාකොට ඤාණයෙන් ඉටන්නේ ය. එසේ කල ආයුෂ්මත් චූලපන්‍ථක ස්ථවිරයන් මෙන් බොහෝ දෙනෙක් වෙති.’

 

මේ ප්‍ර‍තිසම්භිදායෙහි ද ‘ආවර්‍ජනා කොට නුවණින් ඉටාය’යි කීයේ පරිකර්‍ම සිතින් ආවර්‍ජනා කොට අභිඥා ඥානයෙන් අධිඨාන කිරීම සඳහා මැයි.

 

විස්තර:- එහෙයින් මැ “බොහෝ වෙමි”යි ආවර්‍ජනා කෙරේ. අනතුරු වැ ඒ පරිකර්‍ම චිත්තයා ගේ කෙළවර චතුර්ථධ්‍යානයට සමවදනේ යි. ඒ සමවතින් නැගිට නැවත ‘බොහෝ වෙමි’යි ආවර්‍ජනා කොට ඉන් මතු පැවති පරිකර්‍ම-උපචාර-අනුලොම-ගෝත්‍ර‍භු යන සතර පූර්‍වභාග චිත්තයට හෝ උපචාර-අනුලොම-ගොත්‍ර‍භු යන ත්‍රිවිධ පූර්‍වභාග චිත්තයට හෝ අනතුරු වැ නිෂ්පාදන වශයෙන් අධිඨාන නම් වූ එක මැ අභිඥා ඥානයෙන් “අධිඨාන කෙරේ” යයි දත යුතු යි. ආයුෂ්මත් චූලපන්‍ථක ස්ථවිරයන් මෙනැ යි බොහෝ ප්‍ර‍කාර බවට කාය සාක්‍ෂි පිණිස කියන ලදී.

 

ඒ මෙසේ යි :-ඒ දෙබෑයෝ පන්‍ථයෙහි (මාර්‍ගයෙහි) උපන් බැවින් පන්‍ථක නම් වූවාහු ය. වැඩිමහලු මහාපන්‍ථක තෙමේ පැවිදි වැ සිවුපිළිසිඹියාපත් රහත් වී චූලපන්‍ථක ද පැවිදි කරවා

 

“පදුමං යථා කොකනදං සුගන්‍ධං

පාතො සියා ඵුල්ලමවීත ගන්‍ධං,

අඞ්ගීරසං පස්ස විරොචමානං

තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ”[424]

 

“උදේ පිපි මනා සුවඳ ඇති බොහෝ පෙති ඇති හෙළ පියුම සුගන්‍ධයෙන් වියෝ නො වී පවතී ද? (එබඳු) හෙළ පියුමකට බඳු ශරීර සුගන්‍ධයෙන් හා තේජසින් යුතු අහසෙහි බබළන සූර්‍ය්‍යයා වැනි අඞ්ගීරස නම් සර්‍වඥයන් වහන්සේ බලව” යි මේ ගාථාව දුන්නේ ය.

 

චුල්ලපන්‍ථක ස්ථවිරයන් සාරමසකින් මේ ගාථාව ඉගෙනීමට අසමර්ථ වූ හෙයින් මහාපන්‍ථක ස්ථවිරයන් වහන්සේ ඇවැත්නි! ‘මේ ශාසනයෙහි තා අභව්‍යයෙකැ’යි වෙහෙරින් බැහැර කර වූ සේක.

 

එකල භත්තුදේදසක තනතුරක් ලත් මහාපත්‍ථක ස්ථවිරයන් වෙත ජීවකයා පැමිණ ‘හෙටට භික්‍ෂුහු කෙතෙක් දැ’යි විචාළ කල චූලපත්‍ථක (තෙරුන්) හැර අනෙක් බුදුපාමොක් සඞ්ඝයාට ආරාධනා පිළිගත් හෙයින් තමා ගැන වැඩිමහලු සොහොයුරා කළකිරුණු බව නියම වශයෙන් දැන ‘මට දැන් මේ පැවිද්දෙන් කම් නැතැ’යි පසුදා උදෑසන මැ සිවුරු හැර යාමට පිටත්ව ගියේ ය.

ඒ බව දත් බුදුහු එයට පෙරාතුව වැඩ දොරටුව සමීපයෙහි සක්මන් කරමින් සිටිනු දැක උන්වහන්සේ වෙත එළඹ වැඳ එකත්පස්ව සිට චූලපන්‍ථක තෙරුන් අතින් ‘මේ කොහි යන්නේහිදැ’යි විචාර ඒ තතු කී කල චූලපන්‍ථක! ‘මේ ශාසනය මහාපන්‍ථකයා ගේ නොව මාගේ ය’ සොහොයුරා එසේ කී කල මා වෙත නො පැමිණියේ කිම් ද ‘යන්නට එව’ යි කැඳවා ගෙන ගොස් ගඳකිළි දොරටුවෙහි ඉර දෙස බලා සිටින සේ හිඳුවා සෘද්‍ධියෙන් මැවූ රෙදි කඩක් දී ‘මේ පිරිමදිමින් “රජොහරණං” යි කියව’යි වදාළහ.

 

උන්වහන්සේ එය නැවත නැවත පිරිමැදීමේ දී තමා අත වූ ඩහදිය ගෑවීමෙන් කිලුටු වූ බව දැක ‘මේ පිරිසිදු රෙදිකඩ මා ශරීරය නිසා කිලුටු විය.’

 

‘මේ ශරීරයේ දෝෂ යැ’ යි පඤචස්කන්‍ධය පිළිබඳ දොස් දැකීමේ නුවණ උපදවා විදර්‍ශනාවට සිත තමා පිළිවෙළින් අනුලොම-ගෝත්‍ර‍භු ඤාණය සමීපයට සිත පැමිණ වූ කල බුදුහු බුදුරැස් විහිදුවා අභිමුඛයෙහි වැඩ සිටිනා සේ පෙනී

 

“රාගො රජො නචපන රෙණුවුච්චති

රාගස්සෙතං අධිවචනං රජොති,

එතං රජං විප්පජහිත්‍ව පණ්ඩිතා

විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ”[425]

 

“රාගය රජස ය මේ අර්‍ය්‍ය විනයෙහි දූලි රජසැ යි නො කියයි. රාගයට රජස යැ යි විශිෂ්ට නමෙකි. සිත කිලුටු කරන හෙයින් මේ රාග රජස ආර්‍ය්‍ය මාර්‍ගඥානයෙන් පහකොට ආර්‍ය්‍යයන් වහන්සේලා වීතරජස්ක සර්‍වඥ ශාසනයෙහි සිත් අල්වා වෙසෙති” ද්වේෂ මෝහයෝ ද එසේ මැ රජස් වෙති.

 

මේ ගාථා කෙළවර චූලපන්‍ථක ස්ථවිරයන් වහන්සේ සිවුපිළිසිඹියා හා ෂඩභිඥාලාභීව අර්‍හත්‍වයට පැමිණි සේක. බුදුහු (දෙවන දවස්) සංඝයා පිරිවරා ජීවකයාගේ ගෘහයට වැඩි සේක් ජීවකයා වඩා හිඳුවා දක්‍ෂිණොදකය පිරිනැමූ කල අතින් පාත්‍ර‍ය වැසූ හ.

 

ඒ කිම්දැ යි විචාළ කල උපාසකය! ‘විහාරයෙහි භික්‍ෂුවක් ඇතැ’යි වදාළහ. ජීවකයා ‘විහාරයෙහි වූ භික්‍ෂුව කැඳවා එව’යි පුරුෂයකු යැවී ය. බුදුන් විහාරයෙන් වැඩි පසු චූලපන්‍ථක ස්ථවිරයන් වහන්සේ තමා වැනි දහසක් අභිඥා පාදක සිතින් මවාගෙන ඒ සිත්කලු අඹ වෙනෙහි කල් දන්වන තෙක් වැඩ සිටි සේක. ඒ විහාරයට පැමිණි පුරුෂයා කාෂාය වස්ත්‍රයෙන් බබලන විහාරය දැක පෙරලා අවුත් ඒ බව් කියා ‘ඒ භික්‍ෂුව කවරෙක්දැ යි නො දනිමි”යි කීය. එකල බුදුහු තෝ නැවත විහාරයට ගොස් පළමු දුටු භික්‍ෂුව ගේ සිවුරු කොණ අල්වා ‘බුදුන් ඔබ වහන්සේ ඇමතූහ යි කියව’යි වදාළ හ. හේ වෙහෙරට ගොස් එසේ කළ කල සියල්ලෝ අතුරුදහන් වූ හ. තෙරුන් වහන්සේ ඔහු යවා මුව දෙවුම් ආදිය නිමවා ඔහුට පෙරාතුව වැඩ තමාට පැමිණි අසුන්හි වැඩ සිටි සේක.

 

මේ සඳහා යැ ‘ආයුෂ්මත් චූලපන්‍ථක ස්ථවිරයන් මෙනැ’යි කීයේ.

 

ඒ නිර්මිත භික්‍ෂූහු වර්‍ණ-ශරීරායවයව-පරිෂ්කාර-ක්‍රියා විශේෂයෙන් නියම නො කොට මැවූ හෙයින් සෘද්ධිමතුන් හා සමාන මැ වෙත්. යාම්-සිටීම් ආදි සෘද්ධිමතුන් කරන ක්‍රියාවම නිර්මිත භික්‍ෂූහු ද කෙරෙත් මැයි.

 

තවද වර්‍ණාදි වශයෙන් ද, ක්‍රියා විශේෂයෙන් ද, වයස් ආදීන් ද, නන් අයුරින් වෙනස් කරනු කැමැත්තේ නම්

 

කෙසේද යත්?

 

ඇතැම් කෙනෙකුන් ප්‍ර‍ථම වයස්හි වූවන් ද, ඇතැම් කෙනෙකුන් මධ්‍යම වයස්හි වූවන් ද, ඇතැම් කෙනෙකුන් පශ්චිම වයස්හි වූවන් ද, ඇතැම් කෙනෙකුන් දික් කෙසේ ඇතියවුන් ද, ඇතැම් කෙනෙකුන් හිස මුඩුකළවුන් ද, ඇතැම් කෙනෙකුන් කළු කෙස් ඇතියවුන් ද, ඇතැම් කෙනෙකුන් මනාව රැඳූ සිවුරු ඇත්තවුන් ද, ඇතැම් කෙනෙකුන් මඳක් රැඳූ සිවුරු ඇත්තවුන් ද, ඇතැම් කෙනෙකුන් පද කියන්නවුන් ද, ඇතැම් කෙනෙකුන් අර්ථ කියන්නවුන් ද, ඇතැම් කෙනෙකුන් උස් ස්වරයෙන් කියන්නවුන් ද, ඇතැම් කෙනෙකුන් පැන පුළුවුස්නවුන් ද, ඇතැම් කෙනෙකුන් පැන විසඳන්නවුන් ද, ඇතැම් කෙනෙකුන් පඬු පිසනවුන් ද, පඬු පොවන්නවුන් ද, සිවුරු මසන්නවුන් ද යනාදි වශයෙනි.

 

ඒ භික්‍ෂුව පළමුවැ පාදකධ්‍යානයට සමවැද එයින් නැඟී ‘මෙතෙක් භික්‍ෂූන් මෙසේ මෙසේ වෙත්වා’යි පිරියම්කොට නැවත සමවතට සමවැදී එයින් නැඟී අධිඨාන කළ යුතු. අධිඨාන සිත සමග මැ කැමැති කැමැති ආකාර මැ වේ.

 

බොහෝ වැ එකකු වීමෙහි ද මෙසේ මැ යි. එහි විශේෂය මෙසේ යි.

 

මෙසේ බොහෝ කොට නිර්‍මමිත කළ භික්‍ෂුව එකකු වනු කැමැත්තේ නම් :- ‘එකකු වැ සක්මන් කරමැ’යි කියා හෝ ‘සජ්ඣායනා කර මැ’යි කියා හෝ ‘පැන විචාර මැ’යි කියා යි. ‘මේ භික්‍ෂූන් ස්වල්ප දෙනෙකුන් ඇති විහාරයකැ කෙසේ බොහෝ විඳ ඒකාන්තයෙන් මේ ආර්‍ය්‍යයන් වහන්සේ ගේ ආනුභාවයෙකැ යි කියා ‘මිනිසුන් මා ගැන දැනගනිතැයි අල්පේච්ඡ බැවින් හෝ එකෙක් වන්නෙමැ’යි කැමැත්තහු විසින් පාදක ධ්‍යානයට සමවැද එයින් නැගී ‘එකෙක් වෙමි’යි පිරියම් කොට නැවත ධ්‍යානයට සමවැදී එයින් නැගී ‘එකෙක් වෙමි’යි අධිට්ඨාන කළයුතු. අධිට්ඨාන සිත හා සමග මැ එකෙක් වේ.

 

විශේෂ :- මෙසේ නො කරන්නේ පරිච්ඡින්න කාල වශයෙන් තෙමේම (ඉබේ ම) එකෙක් වේ.

 

ආවිභාවය, තිරොභාවය යන මෙහි අර්ථය නම් ‘ප්‍ර‍කට බව කිරීම ය, අප්‍ර‍කට බව කිරීම ය’ යනුයි.

 

මේ සඳහා මැ:-

 

“ආවිභාවන්ති, කෙනවි අනාවටං හොති අපටිච්ඡන්තං විවටං පාකටං” “තිරොභාවන්ති - කෙනවි ආවටං හොති පටිච්ඡන්නං පිහිතං පටිකුජ්ඡිතන්ති”[426]

 

ආවිභාව නම්, භිත්ති, පවුරු ආදි කිසිවකුන් මුවහ නොවූයේ, පිළිසන් නො වූයේ, විවෘත වූයේ, ප්‍ර‍කට වූයේ, යන අර්ථ යි.

 

තිරොභාව නම්, භිත්ති-පවුරු ආදි කිසිවකින් මුවහ වූයේ පිළිසන් වූයේ, වසන ලද්දේ, මුනින් වසන ලද්දේ යන අර්ථයි.

 

මෙහිලා සෘද්ධිමත් තෙමේ ප්‍ර‍කට කරනු කැමැත්තේ රාත්‍රි අන්‍ධකාරය හෝ ආලෝක කරයි. භිත්ති ආදීන් පිළිසන් වූවක් හෝ විවෘත කරයි. දුරුබව් ආදීන් හමු නො වූවක් හෝ හමු කරයි.

 

ඒ මෙසේ යි:- ඒ යෝගාවචර තෙමේ පාදක ධ්‍යානයට සමවැද එයින් නැගී ‘මේ අඳුරු තැන ආලෝක වේවා’යි කියා හෝ ‘මේ මුවහ වූ දැය ප්‍ර‍කට වේවා’යි කියා හෝ ආවර්‍ජනා කොට පරිකර්‍ම භාවනා කර අධිඨාන කරයි. ඒ අධිට්ඨානයට අනතුරුව මැ එසේ වන්නේ යි.

 

දුර වූ දැය ලං කළ පරිදි මෙසේ යි.

 

බුදුරජාණන් වහන්සේ චූලසුභද්‍රාව ගේ ආරාධනයෙන් සැවැත් නුවර සිට සාකේත නුවරට වඩනට සූදානම් වූ කල සක්දෙව් රජුගේ නියමයෙන් විස්කම් දෙව්පුතු මැවූ කුළුගෙවල වැඩසිට සැවැත් නුවරින් සත් යොදුනක් ඈත වූ සාකේත නුවරට වඩනා සේක් සැවැත් නුවර වැස්සන් විසින් සාකේත නුවර වැස්සන් ද, සාකේත නුවර වැස්සන් විසින් සැවැත වැස්සන් ද ඔවුනොවුන් දක්නා සේ අධිෂ්ඨාන කළ සේක. සාකේත නුවර මධ්‍යයෙහි බැස පොළොව දෙබේකොට අවීචිමහ නිරය තෙක් දැක්වූ සේක. ආකාසය දෙබේකොට එහි වූ විමානයන් ද, බඹලොව තෙක් දැක්වූ සේක. දෙවෝරෝහණයෙහි ද මේ ප්‍ර‍කට වේ.

 

බුදුහු යමාමහ පෙළහර කොට අසූහාර දහසක් ප්‍රාණීන් නිවන් දක්වා පෙර බුදුවරු යමාමහ පෙළහර දවස්හි පෙළහර කොට ‘කොහි වැඩි සේක් දැ”යි ආවර්‍ජනා කරනුවෝ තවුතිසා භවනය බැව් දැන එක් පියවරක් පොළොවෙහි තබා දෙවන පියවර යුගඳුරු මුදුනෙහි තබා නැවත පළමු පියවර ගෙන මහමෙර මත තබා එහි වූ පඬුපුල්සලස්නෙහි වස් වැස රැස්වූ දස දහසක් සක්වළ දෙව් බඹුන්හට අභිධර්‍ම දේශනාව අරඹා පිඬු සිඟන වේලාවෙහි නිර්මිත බුදු කෙනෙකුන් මවා ‘ඒ බුදුහු මෙතෙක් දම් දෙසත්ව’යි අදිටන් කොට අනවතප්ත විලින් මුව දොවා උතුරුකුරු දිවයිනට පිඬු සිඟා වැඩ අනවතප්ත විල් ඉවුරෙහි සඳුන් වෙනෙහි වැඩහිඳ දන් වලඳති.

 

සැරියුත් මහ තෙරණුවන් එතනට වැඩ බුදුන් වැඳි කල බුදුහු ‘අද මෙතෙක් ධර්‍මය දෙසීමි’යි නය ක්‍ර‍මය උන්වහන්සේට වදාරති. සැරියුත් මහ තෙරනුවෝ ඒ අනු වැ අභිධර්‍මපිටකය වාවෝද්ගත කළ හ. තෙමසක් මුළුල්ලෙහි මෙසේ වදහළ ඒ මේ අභිධර්‍මපිටකය අසා අසූකෙළක් දෙවියෝ ධර්‍මාභිසමය කළ හ.

 

යමාමහ පෙළහරෙහි රැස් වූ දොළොස් යොදුනක් තැන රැස්ව හුන් පිරිස ‘බුදුන් නො දැක නො යම්හ’යි එහි මැ කඳවුරු බැඳ සිටියවුන්ට බත්-බුලත් ආදියෙන් අනේපිඬු සිටාණන් ගේ මළණු වූ චුල්ල අනේපිඬු සිටාණන් විසින් උපස්ථාන කරන ලදී.

 

මහාජනයා බුදුහු ‘කොහි වැඩියේ’දැ යි දැනගනු සඳහා දිවැස් අත්තවුනට අග තැන්පත් අනුරුද්ධ තෙරුන් වෙත ගොස් අයැදි සඳ තෙරුන් වහන්සේ ඔදාත කසිණයට සමවැද ආලෝකය පතුරුවා තවුතිසා දෙවුලොව වැඩ සිටින බුදුන් දැක ඒ බව් ඔවුනට දැන්වූ සේක.

 

ඉක්බිති ජනයා සෘද්ධිමතුනට අගතැන්පත් මුගලන් මහ තෙරණුවන් වෙත පැමිණ අපට වඳනා පිණිස ‘බුදුන් දක්වා ලනු මැනවැ’යි අයැදි සඳ උන්වහන්සේ ඒ පිරිස මැද මහපොළොව කිමිද මහාජනයාට පෙනෙන සේ මහාමේරු පර්‍වතය විනිවිද ගෙන බුදුන් පා වඳිමින් ම පාමුලින් නැඟී එපවත් සැලකළ සේක. බුදුහු ඒ තෙරුන්ට ‘මොග්ගල්ලානය! තොප දෙටු බෑ දම්සෙනෙවි සැරියුත් කොහිදැ’යි විචාරා සකස්පුරැ යි කී කල ‘මා දන්නා කැමැත්තෝ හෙට දවස් සකස්පුර දොරට රැස්වෙත්වා! එහි බස්නෙමි’යි වදාළ කල මුගලන් මහ තෙරණුවෝ ආ මගින් මැ පෙළා අවුත් මිනිසුන්හට ඒ බව් දැන්වූහ.

 

මෙසේ මුගලන් මහතෙරුන් වහන්සේ නො දැක්ක හැකි සේ පිළිසන් වූ ඒ ගමන දක්නා පරිද්දෙන් අදිටන් කිරීමෙන් ආවිර්‍භාව ප්‍රාතිහාර්‍ය්‍යය පෑ සේක.

 

මෙසේ වැඩි මුගලන් තෙරුන් වහන්සේ එපවත් දන්වා මහජනයාට ‘දුරයයි නො සිතා පෙර බත් කිස නිමවා ම යව’යි වදාළ සේක.

 

බුදුන් ‘සෙට දවස මිනිස් ලොවට යම්හ’යි සක්දෙව් රජහට වදාළ කල ඔහු විස්කම් දෙව්පුතු දන්වා රන්-රිදී-මිණිමුවා හිණිපෙති තුනක් නිර්‍මමිත කරවී. බුදුහු දෙවෙනි දවස් මහමෙර මුදුනේ සිට පෙරදිග ලෝදා බලා වදාළකල එදෙස නොයෙක් දහස් ගණන් චක්‍රාවාටයෝ විවෘත වැ ඒකාඞ්ගණ වූ සේ ප්‍ර‍කාශ වූහ. එසේ මැ පැදුම්දිග ද, දකුණු දිග, උතුරුදිග ද, ලෝක ධාතූහු ප්‍ර‍කාශ වූහ. එසේ මැ යටින් අවීචිය තෙක් ද උඩින් අකනිටා බඹලොව තෙක් ද, පෙනී ගියේ ය. මෙසේ “ලොක විවරණ” නම් මහා ප්‍රාතිහාර්‍ය්‍යය පෑ සේක. එහි වූ දෙවියෝ බිම නො බලා මැ රිසි සේ මිනිසුන් දකිති. මිනිස්සු ද උඩ නො බලා ම රිසිසේ දෙවියන් දකිත්.

 

බුදුහු මැද මිණිමුවා හිණින් බස්නාහ.

 

දෙවියෝ වම්පස රන්මුවා හිණින් ද, සුද්ධාවාස දෙවියෝ ද, මහාබ්‍ර‍හ්මයෝ ද, දකුණුපස රිදීමුවා හිණින් බස්නාහ. සක්දෙව් රජ බුදුන් පාසිවුරු ගත. මහබඹ තුන්යොදුන් සේසත බුදුන් මුදුනට දැරී. සුයාම දෙව්රද වලවිදුනා ගෙන පවන් සැලී. ගන්‍ධර්‍වයෝ පන්සියක් දෙන තුන් යොදුන් බෙලුවපාණඩු වීණාව ගෙන බුදුන්ට වැයූහ. මෙසේ බුදුරජාණන් වහන්සේ ම ආවිර්‍භව ප්‍රාතිහාර්‍ය්‍යය කළ සේක.

 

තව ද ලක්දිව තලගුරු විහාරවාසී ධම්මදින්න තෙරණුවෝ තිස්ස මහාවෙහෙර සෑ මලුවෙහි වැඩහිඳ අපණ්ණකපටිපදා සූත්‍ර‍ය[427] දෙසනුවෝ විජිනිපත යටිකුරුකළ කල අවීචය තෙක් ප්‍ර‍කාශ විය. උඩුකුරුකළ කල බඹලොව තෙක් ප්‍ර‍කාශ විය.

 

මෙසේ පව් කළවුන් විඳුනා දුක ද, පින්කළවුන් විඳුනා සැපද, දක්වා ධර්‍මදේශනා කළ කල එහි වූවෝ සෝවාන් ආදි මර්‍ගඵල ලැබූහ. මේ ආවිර්‍භව ප්‍රාතිහාර්‍ය්‍ය ය.

 

තිරෝභාවය (මුවහ) කරනු කැමති සෘද්‍ධිමත්හු නීලකසිණයට සමවැද අන්‍ධකාර කෙරෙති. පිළිසන් නොවුව පිළිසන් හෝ කෙරෙති. භිත්ති ආදීන් මුවහ නො වූවක් මුවහ කරත්.

 

මෙසේ කරනු කැමැත්තෝ පාදකදධ්‍යානයට සමවැද එයින් නැගී ‘මේ ආලෝකය අන්‍ධකාර වේ වා’යි යනාදීන් ආවර්‍ජනා කොට පරිකර්‍ම කොට පෙර කී සේ අධිඨාන කෙරෙති. අධිඨාන සිත හා සමගම එසේ සිදුවේ. එසේ වන්නා ළඟ සිටියා වූ නො දක්වනු කැමැත්තා නො දකී. තෙමේ ද නො දක්නා කැමැත්තහු නො දකී.

 

ඒ මෙසේයි:- භාග්‍යවතුන් වහන්සේ තමන් සමීපයෙහි සිටි යස කුලපුත්‍ර‍යා පියා විසින් නො දක්නා සේ අධිට්ඨාන කළ සේක. ඒ එසේ මැවිය. එසේ මැ එකසිය විසි යොදුනක් පෙර ගමන් කොට මහාකප්පින රජ අනාගාමී ඵලයෙහි ද, දහසක් අමාත්‍යයන් සෝවාන් ඵලයෙහි ද, පිහිටුවා ඔවුන් අනුවැ ගමන් කළ දහසක් ස්ත්‍රීන් පිරිවැරූ අනෝජා දේවිය සමීපයෙහි සිටියා වූ ද ඒ රාජාදි පිරිස නො දක්නා සේ අදිටන් කොට, ස්වාමීනි! රජු දුටුදැ යි විචාළවුන්ට කිම? තොපට රජු සෙවීම උතුම් ද, නැතහොත් තමා සෙවීම උතුම්දැ’යි විචාරා ‘තමා සෙවීම මැනවැ’යි කී කල එසේ දම් දෙසා ස්ත්‍රීන් සමග ඇය සෝවාන් පෙළෙහි ද, අමාත්‍යයන් අනාගාමි පෙළෙහි ද, රජු අරහත් පෙළෙහි ද, පිහිට වූ සේක.

 

තවද මිහිඳු මහතෙරුන් ලක්දිව වැඩි පළමු දිනයෙහි දෙවන පෑතිස් රජහට තමා කැටිව පැමිණයවුන් නො පැනෙන සේ අධිෂ්ඨාන කිරීම ද මේ ප්‍රාතිහාර්‍ය්‍යය මැයි.

 

විශේෂ :- ආවිර්‍භාව ප්‍රාතිහාර්‍ය්‍යයෙහි බලාසිටිනවුනට සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යය ද, ප්‍රාතිහාර්‍ය්‍යය දක්වන්නා ද පැනෙයි. එය යමක ප්‍රාතිහාර්‍ය්‍යයෙන් ප්‍ර‍කට වේ. ශ්‍රාවකයන් හා අසාධාරණ වූ ඒ ප්‍රාතිහාර්‍ය්‍යයෙහි දී උඩු කයින් ගිනිකඳක් හා යටිකයින් දිය කඳක් ද, පවත්නේ යි. මේ දෙක මැ වෙන වෙන මැ පැනේ.

 

තිරොභාව ප්‍රාතිහාර්‍ය්‍යයෙහි වූ කිල සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යය පැනෙයි. සෘද්ධිමත්හු නො පැනෙති. මෙය මහක[428] -බ්‍ර‍හ්මති-මන්තණික[429] සූත්‍ර‍යන් ගෙන් ප්‍ර‍කාශ වේ. එකත් පසෙක හුන් චිත්‍ර‍ගෘහපති තෙමේ ආයුෂ්මත් මහක ස්ථවිරයන්ට ස්වාමීනි! සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයක් දැක්වුවහොත් මැනවැ යි සැළකළ කල

 

එසේ නම් තෙපි නිසවත්තෙහි උතුරුසලුව අතුට ඒ මත තණ කැරැල්ලක් විසුරුව යි කීහ.

 

එසේ කළ කල මහක ස්ථවිරයන් වහන්සේ වෙහෙරට පිවිස කෙසි සිදුරෙන් ගිනි සිළු නික්ම අවුත් පිටත වූ තණ කැරැල්ල දවා උතුරු සළුව නොදවා ද එපරිද්දෙන් සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයක් කළහ.

 

බ්‍ර‍හ්මනිමන්තණික සූත්‍රයෙහි ද, මහණෙනි! යම් සේ බක බ්‍ර‍හ්මයා ද, බ්‍ර‍හ්ම පිරිස ද, මා නො දකිද් ද, මාගේ ශබ්දය පමණක් අසද්ද එබඳු වූ සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයක් කෙළෙමි’යි වදාළහ.

 

බ්‍ර‍හ්ම ගණයා කෙරෙන් අතුරුදන්වනු කැමති බකබ්‍ර‍හ්මයාට අතුරුදන් විය නොහැකි සේ කොට, බුදුහු ඔවුනට අතුරුදහන්ව සිට ‘ශ්‍ර‍මණ භවත් ගෞතමයන් මෙහි ඇති බව හෝ නැති බව හෝ දැනගත නො හැකැ’යි කියන බ්‍ර‍හ්මයන්ට එයට අවකාශ නොවේව’යි අධිඨාන කොට මේ ගාථාව වදාළහ.

 

භවෙවාහං භයං දිස්වා - භවඤ්ච විභවෙසිනං

භවං නාභිවදිං කිඤ්චි - නන්‍දිඤ්ච උපාගමිං

 

‘මම මේ සංසාරයෙහි ජාති-ජරා-මරණ භය දැක මැ, විභව සඞ්ඛ්‍යාත නිර්‍වාණය සොයන්නෙම්! තෘෂ්ණා-දෘෂ්ටි වශයෙන් කිසි භවයක් ග්‍ර‍හණය නො කෙළෙමි. භව තෘෂ්ණාවට ද නො පැමිණියෙමි” යනු භාව යි.

 

ගෙවල බිත්තියෙන් පිටතට ද, ගෙවල් - නගර - ගම් ආදිය පිරිකෙව් කළ ප්‍රාකාරවල පරභාගයට ද, වෘක්‍ෂ - පර්‍වතාදීන් ගේ පරභාගයට ද අහසෙහි යන්නා සේ නො හැපෙමින් යයි. “තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරො පබ්බතං අසජ්ජමාතො ගච්ඡති සෙය්‍යථාපි ආකාසෙ”[430]

 

මේ කරනු කැමති යෝගියා විසින් ආකාස කසිණයට සමවැද, එයින් නැගී භිත්තියක් හෝ, පවුරක් හෝ, පර්‍වතයක් හෝ ආවර්‍ජනා කොට ‘කිසිතැනෙක නො ලැගෙමි’යි කළ පරිකර්‍ම භාවනා ඇතිව ‘අහස වේවා’යි ඉටිය යුතු. (එහි වූ අහස එක් තැන්වීමෙන්) ආකාශයක් (විවරයක්) සෑදේ. යට බසිනු කැමැත්තහුට හෝ උඩ නගිනු කැමැත්තහුට හෝ සිදුරෙක් වේ. ඒ සෘද්ධිමත් තෙමේ එහි නො හැපෙමින් යයි.

 

මතභේදයක් :- ත්‍රිපිටක චූලාභය ස්ථවිරයෝ වදාළහ. ‘ඇවැත්නි! මෙතැන්හි ආකාස කසිණයට සමවැදීම අනවශ්‍ය ය. කිම හස්ති අශ්වාදීන් මැවීම පිණිස හස්ති අශ්වාදි කසිණයට සමවදී ද එහෙයින් පඨවි කසිණාද යම්කිසි කසිණයක් වැඩුව මනා ය. අෂ්ට සමාපත්ති වශීභාවය ම මෙහිලා පමණි යමක් යමක් කරනු කැමති නම් ඒ ඒ දැයම වේවා”යි කියා ය.

 

(පෘථිවියෙහි උම්මුජ්ජන - නිමුජ්ජනයෙහි ආපො කසිණයට සමවැදුම ද, උදකයෙහි ගමනාදියෙහි පෘථිවි නිර්‍මාණය සඳහා පඨවි කසිණයට සමවැදීම ද, කැමති වන්නවුනට එසේ නො විය යුතු බව් දැන්වීම සඳහා පෙර කී මතය දැක්වී.)

 

එහෙත් භික්‍ෂූහු මෙසේ වදාළහ. ස්වාමීනි! ‘පෙළෙහි මතු ආකාස කසිණය මැ දැක්වේ. එහෙයින් මෙහි ලා ආකාස කසිණයට මැ සමවැදුන මනාය’ කියායි.

 

ඒ මෙසේයි:- “පකතියා ආකාස කසිණ සමාපත්තියා ලාභි හොති, තිරොකුඩ්ඩං, නිරොපාකාරං, තිරොපබ්බතං, ආවජ්ජති, ආවජ්ජිත්‍වාඤාණෙන අධිට්ඨාති. ආකාසො හොතු’ති ආකාසොහොති. තිරොකුඩ්ඩං තිරොපාකාරං, තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති. යථා පක තියා මනුස්සා අනිද්‍ධිමන්තො කෙනවි අනාවාටෙ අපරික්ඛිත්තෙ අසජ්ජමානා ගච්ඡන්ති. එවමෙව සො ඉද්ධිමා චෙතොවසිප්පත්තො තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති[431]

 

“ස්වභාවයෙන් ආකාස කසිණ සමාපත්ති ලාභියෙක් වූයේ මැ භිත්තියෙන් පරභාගයට හෝ, ප්‍රාකාරයෙන් පරභාගයට හෝ, පර්‍වතයෙන් පරභාගයට හෝ, යාම් ආදි පෙළහර කරනු කැමැත්තේ අහස්කිසුණට ම සමවැද බිත්තියෙන් පරභාගය හෝ, ප්‍රාකාරයෙන් පරභාගය හෝ, පර්‍වතයෙන් පරභාගය හෝ, ආවර්‍ජනා කෙරෙයි. ආවර්‍ජනා කොට ‘ආකාශයෙක් වේවා’යි අභිඥා ඥානයෙන් ඉටයි. එකල්හි අහසෙක් වෙයි. ඒ සෘද්ධිමත් තෙමේ බිත්ති-ප්‍රාකාර-පර්‍වත-අපරභාගයන්ට නො ලැගී නො ගැටී යයි. සෘද්ධි නැති මනුෂ්‍යයන් ද, කිසිවකින් මුවහ නො කළ වට නො කළ තන්හි නො ගැටෙමින් යන්නාක් මෙනි” යනු මෙහි භාව යි.

 

කරුණු මෙසේ හෙයින් තිරොකුඩ්ඩාදි ගමන පාටිහාරිය කාරණයෙහි ආකාශ කසිණයට සමවැදීම අවශ්‍යයෙන් කිව යුතු ය.

 

විශේෂ :- “ආකාස කසිණ වසෙන පටිච්ඡන්තං විවට කරණං පඨවි කසිණ වසෙන එකොපිහුත්‍වා බහුධා හොතී’නි ආදිභාවො ආකාසෙවා උදකෙවා පඨවිං නිම්මිනිත්‍වා පදසා ගමනං ඉජ්ඣති[432] ප්‍ර‍තිච්ඡන්නය විවෘත කිරීම ආකාස කසිණ වසයෙන් ද, එකකු වැ බොහෝ වීම් ආදිය ද අහසෙහි හෝ ජලයෙහි හෝ පොළොව මවා පයින් යෑම, පඨවි කසිණ වසයෙන් ද, සමෘද්‍ධ වේ, යන ප්‍ර‍කීර්‍ණකයෙන් ද, එහෙයින් මැ සමර්ථනය වේ.

 

ප්‍ර‍ශ්නයෙකි :- අධිට්ඨානකොට යන්නා වූ ඒ භික්‍ෂුව අතුරෙහි පර්‍වතයක් හෝ, වෘක්‍ෂයක් හෝ නැංගේවි නම්! නැවත ධ්‍යානයට සමවැද අධිඨාන කළ යුත්තේ ද

 

පිළිතුර :- එසේ අධිට්ඨාන කළ ද දොසෙක් නැත්තේ යි. දෙවිටක් බඳනා ලද්ද දළ්හි කරණය වන බැවින් මනාව බඳනා ලද්දේ වෙයි. එහෙත් එයින් ප්‍රයෝජනයක් නැති.

 

කුමක් මෙන් ද ඒ වනාහි උපාධ්‍යායයන් ඉදිරියෙහි නිස සමාදන් වන්නාක් මෙනි. (උපාධ්‍යාය ග්‍ර‍හණයෙන් මැ නිස සමාදානය වන හෙයින් නිස සමාදන්වීම නිෂ්ඵල යැ.)

 

පළමු අධිට්ඨානයෙන් පර්‍වත වෘක්‍ෂාදිය අහස්වන හෙයින් නැවත සමවැද ඉටීමෙන් ප්‍රයෝජන නැති.

 

විශේෂ :- අන්‍ය සෘද්ධිමතකු ගේ නිර්‍මමිතයට වඩා පළමු නිර්‍මමිතය බලපවත්වන හෙයින් දෙවනු වැ සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍යය කරන්නහු විසින් පළමු සෘද්ධිමත් හට උඩින් හෝ, යටින් හෝ යා යුතුයි. “පඨවියාපි උම්මුජ්ජ නිමුජ්ජං කරොති සෙය්‍යථාපි උදකෙ”[433] ‘ජලයෙහි මෙන් පොළොවෙහි ද, ඉල්පීම්-ගැලීම් කෙරේ.’

 

මෙසේ කරනු කැමැත්තෝ ආපෝ කසිනයට සමවැද එයින් නැඟී, ‘මෙතෙක් තන්හි පොළොව දිය වේවා’යි පිරිසිඳ පරිකර්‍ම කොට ඉටිය යුතු ජලය වෙයි. හෙතෙමේ ඒ ජලයෙහි ඉල්පීම්-ගැලීම් කෙරේ.

 

“පකතියා ආපෝකසිණ සමාපත්තියා ලාභි හොති. පඨවිං ආවජ්ජති. ආවජ්ජිත්‍වා ඤාණෙන අට්ඨාති උදකං හොතු ති. උදකං හොති”1

 

‘ප්‍ර‍කෘතියෙන් (ස්වභාවයෙන්) ආපෝකසිණ සමාප්තති ලාභී සෘද්ධිමත් තෙමේ, පොළොව ආවර්‍ජනා කෙරෙයි. එයට අනතුරු වැ අභිඥා ඥානයෙන් පිරිසිඳ, මෙතෙක් තන්හි ජලය වේවා යි අධිට්ඨාන කරයි. ඒ අධිට්ඨානය සමග මැ ජලය වේ.’ සෘද්ධිමත් නො වූ මිනිසුන් ප්‍ර‍කෘතියෙන් දිය යට කිමිදීම, උඩ නැගීම කරන්නා සේ, ඒ සෘද්ධිමත් තෙමේ, පොළොව යට කිමිදීම හා උඩ මතුවීම කෙරේ. ප්‍ර‍කෘති ජලයෙහි ගැලීම - ඉල්පීම කරන්නාක් මෙනි.

 

(පිටත බලාසිටිනවුනට එහි පොළොව පැනෙතත්, සෘද්ධිමත් ධ්‍යානලාභියාට ජලය වේ.)

 

හුදෙක් ගිලීම් - ඉල්පීම් මතු නො වෙයි. නෑම - බීම - මුව දෙවීම - බඩු දෙවීම - ආදි කැමති යමක් කරයි. එසේ මැ, ජලය පමණක් නො ව, ආපො අධික ගිතෙල් - තෙල් - මී පැණි ආදීන් කැමැති දෙයක් මැ මෙතෙක් වේවා’යි පිරිසිඳින ලද පමණක් අධිට්ඨාන කල පරිදි වේ.

 

ඉන් අධිට්ඨානය සේ භාජනයකට ගන්නා ලද ගිතෙල්, ගිතෙල් මැ වෙ යි. තෙල් ආදිය මැ වෙයි. ජලය ජලය මැ වේ. එහි තෙමෙනු කැමැත්තේ මැ තෙමෙයි. නො තෙමෙනු කැමැත්තේ නො තෙමෙ යි. ඒ සෘද්‍ධිමත් හට මැ එය ජලය වෙයි. සෙස්සනට පොළොව මැ වෙයි. එහි මිනිස්සු පයින් හෝ, යාන වාහනාදීන් හෝ යති. කෘසිකර්‍මාදිය හෝ කෙරෙත්. ඒ සෘද්‍ධිමත් තෙමේ අන්‍යයන්ට ද, ‘ඒ ජලය වේවා’ යි කැමැති වේ නම් ඔවුන්ට ද ඒ ජලය වේ. පරිච්ඡෙද කළ කාලය හැර, ප්‍ර‍කෘතියෙන් ඒ පෙදෙසෙහි වූ ජලය තිබිය දී, සෙස්ස පොළොව වේ.

 

“උදකෙපි අභිජ්ජමානො ගච්ඡති සෙය්‍යථාපි පඨවියං”

‘ජලයෙහි ද පොළොවෙහි මෙන් නො සැලෙමින් යයි’

 

මෙසේ යනු කැමති සෘද්ධිමත් තෙමේ, පඨවි කසිණයට සමවැද, එයින් නැඟී, මෙතෙක් තැන ජලය පොළොව වේවා’යි පරිච්ඡෙද කොට අධිට්ඨාන කළ යුතු. අධිට්ඨානය සමග මැ පිරිසිඳි ප්‍රදේශයේ ජලය පොළොව වේ. හෙතෙමේ එහි නො බිඳෙන සේ යයි.

 

“පකතියා පඨවි කසිණ සමාපත්තියා ලාභි හොති. උදකං ආවජ්ජති. ආවජ්ජිත්‍වා ඤාණෙන අධිට්ඨාති. පඨවී හොතු’ති. පඨවි හොති. සො අභිජ්ජමානෙ උදකෙ ගච්ඡති.”1

 

‘ස්වභාවයෙන් පඨවී කසිණ සමාපත්ති ලාභියෙක් ජලය ආවර්‍ජනා කොට අභිඥා ඥානයෙන් ‘පොළොව වේවා’යි අධිෂ්ඨාන කරයි. ඒ පිරිසිඳිනා ලද ප්‍රදේශයෙහි පොළොව වේ. හෙතෙමේ ඒ ජලයෙහි නො බිඳෙන සේ පොළොවෙහි ගමන් යයි. (සාමාන්‍ය මනුෂ්‍යයන් ප්‍ර‍කෘති පොළොවෙහි යන්නාක් මෙනි.)

 

යාම පමණක් නොව, ඊම්-සිටීම්-නිදීම් ආදි කැමැති හැම ඉරියව්වක් ම පවත්වයි. හුදෙක් පඨවිය පමණක් නොව, මැණික්-රන්-පර්‍වත-වෘක්‍ෂ ආදීන් අතුරින්, කරනු කැමති යමක් යමක් ඉටානම් ඒ සියල්ලක් වේ. සෙස්සන්ට වූකලි ජලය මැවෙයි. මස් - කැසුබු - දියකා ආදී ජලවර සත්ත්‍වයෝ ද, කැමති සේ හැසිරෙති. ඒ සෘද්ධිමත් තෙමේ සෙසු ජනයාටත් එය පොළොවක් කරනු කැමැත්තේ නම් පොළොවක් ම කරයි. පරිච්ඡින්න කාලය අවසානයෙහි පෙරසේ ම ජලය වේ.

 

“ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්‍යථාපි පක්ඛීසකුණො”

‘අහසෙහි ද සර්‍ය්‍යඞ්කයෙන් යන්නේ වේ. පියාපත් ඇති පක්‍ෂියකු මෙනි.’

 

මෙසේ කරනු කැමැති සෘද්ධිමත් තෙමේ පඨවි කසිණයට සමවැදී එයින් නැගී, (කුරුල්ලකු සේ) හිඳගෙන මැ යනු කැමැත්තේ නම්, පර්‍ය්‍යඞ්කයක් පමණ තැන පිරිසිඳ පරිකර්‍ම කොට පෙර සේ අධිට්ඨාන කළ යුතු. (එසේ වෙයි) වැදහෙව යනු කැමැත්තේ නම්, ඇඳක් පමණ තැන පිරිසිඳ පරිකර්‍ම කළ යුතු. පයින් යනු කැමැත්තේ මාර්‍ග ප්‍ර‍මාණ ප්‍ර‍දේශයක් පරිච්ඡෙද කොට අධිට්ඨාන කළ යුතු. අධිට්ඨානය සමග පොළොවම වේ.

 

‘ස්වභාවයෙන් පෘථිවි කසිණ සමාපත්තිලාභී තෙමේ, ආකාසය ආවර්‍ජනා කොට අභිඥා ඥානයෙන් ‘පෘථිවිය වේවා’යි අධිට්ඨාන කෙරේ. එහි අහස පොළොව වේ. ප්‍ර‍කෘති පොළොවෙහි සාමාන්‍ය මිනිසුන් සේ, ඒ සෘද්ධිමත් තෙමේ ආකාශයෙහි සක්මන් කරයි. හිඳියි, සිටියි, ශයනය ද කෙරේ.’

 

විශේෂ :- මෙසේ අහසින් යන්නහු ප්‍ර‍ථමයෙන් දිවැස් ඇත්තකු ද වුව මැනව. කුමක් හෙයින් ද යත් :- ඒ අහසින් යා යුතු මාර්‍ගය අතරතුර ප්‍ර‍කෘතියෙන් හටගත් වෘක්‍ෂාදිය හෝ වෙයි. දිව්‍ය-නාග-සුපර්‍ණාදීහු ඊර්‍ෂ්‍යාපරවශවැ මවන්නාහු හෝ වෙති. එබඳු උපද්‍ර‍වාදිය දක්නා පිණිස ය. එසේ වෘක්‍ෂාදියක් වුව පාදක ධ්‍යානයට සමවැද, එයින් නැගිට ‘ආකාශයක් වේවා’යි පරිකර්‍ම කොට අදිට්ඨාන කළ යුතු.

 

මතභේදයකි :- “එසේ අතරතුර සමවතට සමවදනේ කවර හෙයින් ද මොනවට සිත එකඟ කරන ලද හෙයින් ඒ ධ්‍යානලාභියා විසින් ‘ආකාශය වේවා’යි ඉටන ලද තැන ආකාශය මැ වන්නේ නො වේ දැ”යි ත්‍රිපිටක චූලාභය ස්ථවිරයෝ වදාළහ. සැබව, එහෙත් තිරොකුඩ්ඩ ප්‍රාතිහාර්‍ය්‍යයෙහි කී පරිදි පිළිපැදිය යුතුය.

 

තවද අවකාශ ඇති තැනෙක බැසීම සඳහා මේ ධ්‍යානලාභියා විසින් දිව්‍යචක්‍ෂුරභි ඥානය ලැබිය යුතු ය. මොහු නහන තොට ගම්දොර ආදි මහාජනාකීර්‍ණ ස්ථානයෙක බැස්සේ වී නම් මහජනයාට ප්‍ර‍කට වන හෙයිනි.

 

“ඉමෙපි චන්‍දිම සුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරිමසති. පරිමජ්ජති”[434]

 

මේසා මහත් සෘද්‍ධි ඇති මේසා මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද අත්ලෙන් අල්වයි පිරිමදි යි.”

 

මහිද්ධිකො = දෙසාලිස් දහසක් යොදුන් මත්තෙහි හැසිරීමෙන් මහත් සෘද්ධි ඇති

 

මහානුභාවෙ = එකවිට තුන් දිවයිනකට ආලෝක කිරීමෙන් මහානුභාව ඇති

පරිමසති = එක් ප්‍රදේශයක් හෝ, හාත්පසින් හෝ අල්වයි.

පරිමජ්ජති = කැටපත් තලයක් සේ පිරිමදියි.

 

(මෙසේ මත්තෙහි හැසිරීමෙන් හා, ආලෝක කිරීම් වශයෙන් මහත් සෘද්‍ධි ඇති, එහෙයින් මැ මහත් අනුභාව ඇති සඳ-හිරු දෙදෙනා ය.)

 

විස්තර :- මේ සෘද්‍ධිමත්හු ගේ ධ්‍යානය අභිඥා පාදක වශයෙන් සමෘද්ධ වන්නේ ය. කසිණ සමාපත්ති වසයෙන් නියම නැති.

 

“ඉමෙ චන්‍දිම සුරියෙ - පරිමජ්ජතී’ති. ඉධ සො ඉද්‍ධිමා චෙතොවසිප්පත්තො චන්‍දිම සුරියෙ ආවජ්ජති. ආවජ්ජිත්‍වා ඤාණෙන අධිට්ඨාති. හත්‍ථපාසෙ හොතූ‘ති හත්‍ථපාසෙ හොති. සො නිසින්නකොවා’ නිපන්නකොවා’ චන්‍දිම සුරියෙ ආමසති. පරාමසති. පරිමජ්ජති.”[435] ‘මේ සස්නෙහි සෘද්ධිමත්වූ, චිත්ත වසගයට පැමිණ වූ ධ්‍යාන ලාභී තෙමේ, සඳ හිරු ආවර්‍ජනා කොට අභිඥා ඥානයෙන් ‘චන්‍ද්‍ර‍ සූර්‍ය්‍යයන් අත්පසෙහි වෙත්ව’යි අධිෂ්ඨාන කරයි. අධිෂ්ඨානය සමග මැ අත්පසෙහි වෙති.

 

ඉක්බිති හෙතෙමේ හිඳ හෝ, හෙව හෝ, සඳ-හිරු අතින් අල්වයි. ඔබ-මොබ අත යවා පිරිමදි යි. සෘද්ධි නැති සාමාන්‍ය මනුෂ්‍යයකු ස්වභාවයෙන් අත් පස වූ රූපාදියක් අතින් අල්වන්නාක් මෙනි.

 

හෙතෙමේ සඳ-හිරු වෙතට ගොස් අල්වනු කැමැත්තේ නම් එසේත් කරන්නේ ය. මෙහි ම සිට අල්වනු කැමැත්තේ නම් ‘අත්පස වේව’යි ඉටා අධිට්ඨාන බලයෙන් තුවටුයෙන් ගිලිහුනු තල් ගෙඩියක් මෙන්, වෙතට පැමිණි සඳ-හිරු පරාමර්‍ශනය කෙරේ. තමා සිටි තැනැ මැ සිට, සඳ හිරු එහි මැ තිබිය දී අත දික්කොට හෝ, පරාමර්‍ශනය කෙරේ.

 

ප්‍ර‍ශ්නයෙකි :- එසේ කල උපාදින්නකය (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් මමායනය කරන ලද ප්‍ර‍කෘති හස්තය) වැඩේ ද නැතහොත් අනුපාදින්නකය (ධ්‍යාන බලයෙන් පහළ වූ හස්තය) වැඩේ ද

 

පිළිතුර :- උපාදින්නකය නිසා අනුපාදින්නකය වැඩෙයි.

 

ත්‍රිපිටක චූලනාග ස්ථවිර මතය :- ධ්‍යානලාභී මහණ කෙසී සිදුරු ආදියෙන් නික්මෙන කල උපාදින්නක ශරීරය කුඩාවන්නේ නොවේ ද මුගලන් මහතෙරුන් මෙන් ආත්මභාවය මහත් කරනු කැමැත්තේ නම් උපාදින්නකය මහත් වන්නේ නො වේ ද යනුයි. මින් ශරීරය කුඩා කිරීමේදී උපාදින්නකය කුඩා වන බව හා, මහත් කිරීමේදී ද එසේම උපාදින්නකය මහත් වන බව ද මේ ස්ථවිර වාදයෙන් කරුණු ගෙන පා සමර්‍ථනය කෙරේ.

 

මුගලන් මහතෙරුන් නන්‍දොපනන්‍දයා දැමූ පරිදි එයට සාධක යැ.

 

‘එක් දිනෙක බුදුහු පන්සියයක් භික්ෂූන් කැටිව තව්තිසා දෙව්ලොව වඩනාසේක්, මහාමේරු නිතම්බයෙහි නා රජුන්ගේ විමාන මතුයෙන් වැඩියහ. එදින නන්‍දොපනන්‍ද නා රජුන්ගේ ආපාන භූමියෙකි. නා නා රසමසවුලෙන් සැරසූ ආපාන මණ්ඩපයෙහි දිව්‍ය රත්න පර්‍ය්‍යඞ්කයෙහි දිව්‍ය ශ්වේතචඡත්‍ර‍ය යට කාන්තා-යුවති-කන්‍යා යන ත්‍රිවිධ නාටිකාවන් හා නාගපිරිස පිරිවරා දිව්‍ය භෝජ එළවා උපස්ථාන කරන සේ බල බලා සිටියේ ය. එකල භික්‍ෂූන් කැටිව තම විමන් මතුයෙහි වඩනා බුදුන් දැක, ‘මේ මුඩු මහණහු ‘අපගේ භවන මතුයෙන් දෙව්ලොව යම්හයි නික්මියාහු ය, මොවුනට ‘අප මස්තකයෙහි පා ධූලි විසුරුවමින් යා නො දෙම්හ යි’ මහමෙර පතුළට ගොස් මහා නාග වේශය මවා ගෙන, මහමෙර සත්වරක් දරණ වැලින් වෙළා මුදුනෙහි පෙණය තබා තව්තිසා භවනය යටිකුරු කොට පෙණයෙන් වසා නො පෙනෙන සේ කෙළේය. එකල රට්ඨපාල තෙරුහු ස්වාමීනි! පෙර මෙහි ‘මහමෙර පැනෙයි’ ‘මහමෙර බඳ පැනෙයි’ ‘තව්තිසා භාවනය පැනෙයි’ ‘වෛජයන්ත ප්‍රාසාදය පැනෙයි’ යනාදීන් එහි පැනෙන දැ කියා, ‘අද ඒ කිසිවක් නො පැනෙනුයේ කිමිදැ’යි බුදුන් විචාළහ. රට්ඨපාලය! ‘අද නන්‍දො පනන්දයා තොපට කිපී, මහමෙර වෙළා ඒ මතුයෙහි පෙණය තබා අන්‍ධකාර කොට සිටිතැ’යි වදාළහ.

 

ස්වාමීනි! ‘ඔහු දමනය කරමැ’යි කීහ. බුදුහු නො අනුදත්හ. අනතුරු වැ භද්දිය, රාහුලාදි පිළිවෙළින් සියලු භික්‍ෂුහු විචාළහ. බුදුහු නො අනුදත්හ. අවසන්හි මුගලන් මහාතෙරුන්, ස්වාමීනි! ඔහු දමනය කරමැ යි විචාළ කල මුගලන! ‘දමනය කරව’යි අනුදත්හ. මුගලන් මහතෙරහු අත්බැව හැර මහා නාග වේශයක් මවා ගෙන මහමෙර පතුළට ගොස්, නාගයා මතුයෙහි තුදුස් වරක් දරණ වැලින් වෙළා ඔහු පෙණය මතුයෙහි තම පෙණය තබා ගෙන මහමෙරට තදකොට සිටියහ. නාරජු දුමන්නට වන. තෙරහු ද දුම් නැගුහ. නා රජුගේ දුම තෙරුන් නොපෙළා එහෙත් තෙරුන්ගේ දුම නා රජු පෙළයි. නැවත නා රජ ගිනි ගත තෙරහු ද ගිනි ගත්හ. නා රජු ගිනි තෙරුන් නො දවා තෙරුන් ගේ ගිනි නා රජ දවයි.

 

අනතුරු වැ නා රජ ‘මේ තෙමේ මා මහමෙර හා පෙළා-දුමා දවයි’ ‘මේ කවරෙක්දැ’යි සිතා, පින්වත! ‘තෝ කවරෙහිදැ’යි විචාළේය. ‘මම වන්නා නන්‍දය! මුගලන් නම් වෙමි’යි වදාළහ. ස්වාමීනි! තමා ‘භික්‍ෂු වශයෙන් සිටිනු මැනවැ’යි කී. තෙරහු භික්‍ෂු වේශය ගෙන ඔහුගේ දකුණු කනින් ඇතුළු වැ වම් කනින් නික්මෙති. වම් කනින් ඇතුළු වැ දකුණු කනින් පිටවෙති. දකුණු නාසා සිදුරින් ඇතුළු වැ වම් නාසා සිදුරින් පිටවෙති. වම් නාසා සිදුරින් ඇතුළු වැ දකුණු නාසා සිදුරින් පිටවෙත්. අනතුරු වැ නයා මුව විවර කෙළේ ය. එකල තෙරහු මුවින් කුසට ඇතුළු වැ කුස තුළ නැගෙනහිරින් දිගට සක්මන් කෙරෙත්.

 

එකල බුදුහු මොග්ගල්ලානය! සිහි ඇත්තේ වව. ‘නාගයා මහා අනුභාව ඇත්තේය’යි වදාළහ. එකල තෙරහු ස්වාමීනි! ‘මවිසින් සතර සෘද්‍ධිපාදයෝ වඩන ලදහ. නැවත නැවත වඩන ලදහ. ගමනට යානාවක් මෙන් ද, සිටීමට වාස්තුවක් මෙන් ද කරන ලදහ. නැවත නැවත පිහිටුවන ලදහ. පුරුදු කරන ලදහ. මොනවට ආරම්භ කරන ලදහ. “ස්වාමීනි! මේ එක නාගයෙක් සිටීවා! මෙබඳු නාගයන් සියයක් හෝ, දහසක් හෝ දමනය කරමි”යි වදාළහ.

 

එකල නා රජ පළමුවෙන් ඇතුළත වදනා මොහු නො දක්නා ලදහ. දැන් පිටත නික්මෙත්ම ‘දළ ඇතුළට ගෙන සඟවා කමි’යි සිතා, ස්වාමීනි! ‘පිටත නික්මෙව, මෙසේ මා නො පෙළාවා’යි කී. ඉක්බිති තෙරහු පිටත නික්ම සිටියහ. එකල නාගයා කසාවත යැවී ය. තෙරුන් වහන්සේ චතුර්‍ථධ්‍යානයට සමවැදුණු සේක. රෝමකූපයකුදු දැවීමට නො හැකි විය.

 

(විශේෂ:- භද්දිය ස්ථවිරයෝ මේ තාක් සියල්ල කිරීමෙහි සමර්‍ථයහ. එහෙත් මේ ස්ථානයට පැමිණ හෙව. මේ නාසා වාතයෙන් නො පෙළීම සඳහා ඛිප්පනිසන්ති භාවනා යි කියන ලද වහා ධ්‍යානයට සමවැදීමෙන් අභිමතාර්‍ථ සාධනයට අසමර්‍ථයහ. එහෙයින් බුදුහු ඔවුනට අවසර නුදුන්හ.)

 

අනතුරු වැ මේ තෙරිඳු මහත් අනුභාව ඇත්තෙක. එහෙයින් මාගේ නාසා වාතයෙන් රෝමකූපයෙකුදු සොළවා ලිය නො හැකිවීය’යි සිතී. මහතෙරහු මිනිසත් බව පියා, මහත් ගුරුළු වෙසක් මවා යුගාන්ත වාතය බඳු ගුරුළු වාතය දනවා, නාන රජු ලුහුබැන්දහ. නා රජ නාගාත්මය පියා මාණවක වෙසක් මවාගෙන “ස්වාමීනි! නුඹ වහන්සේ සරණ යෙමි, මා ගැත්තහුට සරණවනු මැනව’යි” තෙරුන් වැන්දේ ය. මහතෙරහු එම්බා නා රජ! බුදුහු වැඩියහ. මෙසේ එව,’ උන්වහන්සේ වෙත යම්හ යි’ නා රජ දමා බුදුන් වෙත පැමිණ වූහ. නා රජ බුදුන් වැඳ උන්වහන්සේ සරණ යෙමි’යි කී.

 

බුදුහු “සුවපත්වා නා රජ” යි වදාළහ. ඉක්බිති භික්‍ෂූන් පිරිවරා අනේපිඬු සිටාණන් ගෙට වැඩියහ. ‘ස්වාමීනි! ඉතා දවල් වූයේ කිමැ’යි විචාළ සිටාණන්ට මුගලන් තෙරුන් හා නන්‍දොපනන්‍දයා අතරේ යුද්ධයක් වීය යි වදාළහ. ස්වාමීනි! ජය පරාජය කවුරුන්ට වීදැ’යි විචාළහුට මුගලන් තෙරුන්ට ජාය ය. නන්‍දොපනන්‍දයාට පරාජය වීය යි වදාළහ. ස්වාමීනි! එසේ වන්නා සතියක් තෙරුන් වහන්සේ ගේ ‘ජය පූජා පවත්වමි’යි, සතියක් මාගේ ආරාධනය පිළිගත මැනව’යි සතියක් මුළුල්ලෙහි බුදුපාමොක් පන්සියක් සඟනට මහත් පූජා සත්කාර කෙළේ ය.

 

මෙසේ මහත් වූ නන්‍දෝපනන්‍ද නාග දමනයෙහි ලා මුගලන් තෙරහු මහත් වූ ආත්ම භාවය මැවීම සඳහා ම “සෘද්ධිමත් භික්‍ෂුව උපදින්තක ශරීරය ඇසුරු කොට අනුපාදින්තක ශරීරය වඩනේය”යි කී බව් දතමනා ය. මේය මෙහි යුක්තිය නම්.

 

ඒ සෘද්‍ධිමත් තෙමේ සඳහිරු පරාමර්‍ශනය කිරීම පමණක් නොව කැමැත්තේ නම්! සඳ හිරු පා පුටුවක් හෝ කොට පා තබා. පුටුවක් කොට හෝ හිඳී. ඇඳක් කොට හෝ හොවී. එල්ලෙන පුටුවක් කොට එල්බ ගනී.

 

එක් භික්‍ෂුවක් පමණක් නොව, සිය දහස් ගණන් භික්‍ෂූහු එසේ කරතුදු ඒ ඒ භික්‍ෂුවට එකී සියල්ල සමෘද්ධ වේ. එසේ මැ සඳ හිරු දෙදෙනා ගේ ගමනාගමනාදිය ද සිදු වේ.

 

නිදර්‍ශනයෙකි:- තලි දහසෙක්හි දිය පුරවා තුබූ කල හැම තලියක ම සඳමඬල වෙන වෙන ම පැනේ. සඳේ පියවි ගමන ද, එළිය පැතිරීම ද, එසේ ම සිදුවේ. මෙහි ප්‍රාතිහාර්‍ය්‍යය ද එසේම ය. “යාව බ්‍රහ්මලොකාපි කායෙන වසං වත්තෙති”[436] ‘ඒ සෘද්ධිමත් තෙමේ බඹලොව තෙක් කයින් වසයෙහි පවත්වයි’ හුදෙක් මින් බඹලොව පමණක් අදහස් නො කෙරේ. අනෙක් ස්ථාන පිළිබඳව ද එසේම ය. ඉතා දුර දැක්වීම පිණිස බ්‍ර‍හ්මලෝකය මෙහි දැක් වී. ඒ චිත්ත වසයට පැමිණි සෘද්ධිමත් යෝගී තෙමේ බඹලොව යනු කැමැත්තේ නම්! දුර පවත්නා වස්තූහු ‘ළං වෙත්වා’යි ඉටයි. ඒ හා සමග මැ සමීප වෙයි. ‘සමීපයෙහි වස්තු දුර වේවා’යි දුරු කොට ඉටා නම් ඒ සමග ම දුරු වෙයි. බොහෝ වස්තු ‘ස්වල්ප වේවා යි’ ඉටා න්ම ඒ සමග මැ ස්වල්ප වෙයි. ස්වල්ප දෙය ‘බොහෝ වේවා යි’ ඉටා න්ම ඒ සමග මැ බොහෝ වෙයි. දිවැසින් ඒ බඹුන් ගේ රූප දක්නා කැමැත්තේ නම් රූප දකියි. ශබ්ද අසනු කැමැත්තේ නම් ශබ්ද අසයි. චේතෝ පරිය ඤාණයෙන් සිත් බලනු කැමැත්තේ නම් සිත් බලයි. හෙතෙමේ දෘශ්‍යමාන කායයෙන් බඹලොව යනු කැමැත්තේ නම් ශරීරයා ගේ වශයෙන් සිත පිරිනමා, ශරීරයා ගේ වශයෙන් සිත අධිෂ්ඨාන කොට සුඛ සංඥාවට ද, ලඝු සංඥාවට ද, වැද දෘශ්‍යමාන ශරීරයෙන් බඹලොව යයි.

 

නො පැනී බඹලොව යනු කැමැත්තේ නම් චිත්ත වශයෙහි කය පිහිටුවා චිත්ත වශයෙහි කය අධිෂ්ඨාන කොට සුඛ සංඥාවට ද, ලඝු සංඥාවට ද, වැද නො පැනෙන කයින් බඹලොව යයි. ඒ සෘද්ධිමත් තෙමේ බ්‍ර‍හ්මයන් ඉදිරියෙහි මනෝමය වූ සියලු අඞ්ග - ප්‍ර‍ත්‍යඞ්ගයෙන් සම්පූර්‍ණ වූ නො පිරිහුණු ඉඳුරන් ඇති රූපයක් නිර්මිත කරන්නේ ය. ඒ සෘද්ධිමත් තෙමේ සක්මන් කෙරේ නම් නිර්මිත රූපය ද සක්මන් කෙරේ. ඒ සෘද්ධිමත් තෙමේ සිටී නම්-හිඳී නම්, හොවී නම් නිර්මිත රූපය ද සිටී, හිඳී, හොවී, ඒ සෘද්ධිමත් තෙමේ දුමා නම්, දිළිහේ නම්, බණ කියා නම්, පැන විචාරා නම්, පැන විසඳා නම් නිර්මිත රූපය ද දුමයි, දිළිසෙයි, බණ කියයි, පැන විචාරයි, පැන විසඳයි.

 

ඒ සෘද්ධිමත් තෙමේ ඒ බ්‍ර‍හ්මයා සමග සිටී නම්, කථා කෙරේ නම්, - සාකච්ඡා කෙරේ නම්, -යමක් යමක් කෙරේ නම් නිර්මිතයා ද ඒ සියල්ල කෙරේ.

 

දුර වූ දෙය ද සමීපයෙහි වන සේ අධිට්ඨාන කෙරේ.

 

පාදකධ්‍යානයෙන් නැගී දුර පිහිටි බ්‍ර‍හ්ම ලෝක-දිව්‍ය ලෝකාදියක් ‘ලඟ වේවා’යි ආවර්‍ජනා කොට, අනතුරුවැ පිරියම් කොට නැවත එම ධ්‍යානයට සමවැදී ‘ළං වේවා’යි අභිඥා ඥානයෙන් ඉටයි. ඒ සමග ම සමීපයෙහි වේ.

 

(මෙහි “අපි” යනු සමුච්චයාර්‍ථයෙහි වන හෙයින් මෙහි නොකී අධිෂ්ඨාන සෘද්ධියෙන් නිපදවිය යුතු, සියල්ල සංග්‍ර‍හ වේ. සෙසු පදයෙහි ද මේ ක්‍ර‍මය මැයි.

 

දුර වූ දැය ළං කෙළේ මෙසේ යි:- බුදුහු යමක ප්‍රාතිහාර්‍ය්‍යාවසානයෙහි දෙව් ලොව වඩනා සේක්, මහමෙර ද, යුගන්‍ධරය ද, සමීපයෙහි කොට පෘථිවි තලයෙන් එක් පයක් යුගන්‍ධරයෙහි තබා දෙවෙනි පස මහමෙර මතුයෙහි තුබූ සේක. දෙවෝරෝහණයේ දී මුගලන් මහතෙර සැවැත් නුවරින් දවල් බත් කා පිටත් වූ දොළොස් යොදුනක් පැතිරි සිටි පිරිස, තිස් යොදුනක් දුර වූ සකස් පුර මඟ ළඟට ක්‍ෂණයකින් පැමිණ වී.

 

ලක්දිව චුලසමුද්ද නම් තෙරුන් වහන්සේ දුර්භික්‍ෂ කාලයෙහි උදය තමා වෙත පැමිණි සත් සියයක් භික්‍ෂූන්ට, ලක්දිවින් පිණ්ඩපාතය නොලැබිය හැකි බව ද, දඹදිව පැළලුප් නුවරින් ලැබෙන බව් ද, දිවැසින් දැක පා සිවුරු ගන්වා ‘ඇවැත්නි! පිඬු සිඟා වඩිමු යැ’යි අමතා පොළොව හකුළා පැළලුප් නුවර වැඩි සේක.

 

භික්‍ෂූහු - ස්වාමීනි! මේ කිනම් නගරයක් ද

මහතෙර - ඇවැත්නි! පැළලුප් නුවර ය.

භික්‍ෂූහු - පැළලුප් නුවර දුර නො වේද

මහතෙර - ඇවැත්නි! මහලු තෙරහු දුර වූ දැය ද ළං කෙරෙති.

භික්‍ෂූහු - මහ මුහුද කොහි ද

මහතෙර - අතර ඉක්ම වූ ඒ නිල් කුඩා ඇල ය.

භික්‍ෂූහු - මුහුද මහත් නො වේද

මහතෙර - මහලු තෙරහු මහත් දැය කුඩා ද කෙරෙති

තිස්සදත්ත තෙරණුවෝ ද සවස දිය නා උතුරු සඟල පොරවා සිටියෝ, මහා බෝධිය වඳින කැමැත්තෝ දුරවූව ළං කළහ.

 

ළංවූ දැය දුරු කිරීම, බුදුහු තමා ගේ හා අංගුලිමාලයා ගේ අතර ළංවුවද දුරු කළ සේක.

 

බොහෝ දැය ටික කිරීම, එක් දිනක් මහසුප් මහතෙරුන් වහන්සේ බුදුන් කැටිව වඩනා කල රජගහනුවර කුමාරිකාවෝ පන්සියයක් නැකැත් දිනයෙක චන්‍ද්‍ර‍ පූපයන් ගෙන නැකැත් කෙළි පිණිස යන්නෝ බුදුහු දැක එය නුදුන්හ. පසුව වඩනා මහසුප් තෙරුන් දැක අපගේ ආර්‍ය්‍යයන් වහන්සේ වඩනා සේක. ‘කැවුම් පුදමුයැ’යි සියලු කැවුම් ගෙන එළඹුණාහ. තෙරුන් වහන්සේ පාත්‍ර‍ය මෑත් කොට සියල්ල එක පාත්‍ර‍යක් පිරෙන පමණ කළ සේක. බුදුහු තෙරුන් වඩනා පෙරමඟ බලමින් වැඩහුන් සේක. තෙරහු ගෙනවුත් බුදුනට පිරි නැමූහ.

 

ඉල්ලීස සිටු වස්තුවෙහි ද, බොහෝ දැය ටික කෙළේ ය. මහසුප් මහා ස්ථවිරයෝ ටික දැය බොහෝ කළහ.

 

කාකවලිය වස්තුවෙහි මහසුප් තෙරුන් වහන්සේ සත් දවසක් සමවත් සුවෙන් වැස එයින් නැගී දිළින්දන්ට සංග්‍ර‍හ කරනු පිණිස කාකවලිය නම් දුගියා ගේ ගෙදොර වැඩ සිටියහ. ඔහු අඹුව තෙරුන් දැක හිමියාට පිළියෙළ කළ ලුණු නැති ඇඹුල් කැඳ පාත්‍රයෙහි බහා ලූහ. තෙරුන් වහන්සේ එය ගෙන බුදුන් අත තැබූ සේක. බුදුහු එය මහා භික්‍ෂු සංඝයාට පොහෝනා සේ ඉටූහ. ඒ සියල්ල පොහෝනා පමණ විය. කාකවලිය තෙමේ ද, සත්වන දින සිටු තනතුරු ලැබී.

 

එපමණක් නොව මිහිරි දෑ නො මිහිරි කිරීම්, නො මිහිරි දෑ මිහිරි කිරීම්, ඈ රිසියෙන තාක් කෙරෙති. මහා අනුල ස්ථවිරයෝ බොහෝ භික්‍ෂූන් පිඬු සිඟා වියළි බත් මැ ලැබ ගංතෙර හිඳ වළඳන්නවූවන් දැක ‘ගඟ දිය ගිතෙල් බඳුනක් වේවා’යි ඉටා හෙරණුන්ට හැඟවූහ. ඔහු ඒවා බඳුනින් ගෙනවුත් භික්‍ෂූන්ට පිළිගැන්වූහ. සියලු භික්‍ෂූහු මිහිරි ගිතෙල් හා බත් වැළඳූහ. දිබ්බෙන චක්ඛුනා, මෙහි මැ සිට කසිණාලෝකය වඩා, ඒ බ්‍ර‍හ්මයා ගේ රූපය දකී. මෙහි ම සිට ඒ බ්‍ර‍හ්මයාගේ සියලු ශබ්දය අසයි. සිත ද පිරිසිඳ දනී.

 

කාය වසෙන චිත්තං පරිණාමෙති1 ශරීරයා ගේ වශයෙන් සිත පිරිනමන්නේ ය යනු චාතුර්භෞතික රූපකායයා ගේ වශයෙන් සිත පිරිනමන්නේ මෙසේ ය. පාදකධ්‍යාන චිත්තය ගෙන ශරීරයෙහි ආරෝපණය කොට ‘මේ සිත කය අනුව ලැසි වැ යන්නාක් වේවා’යි චිත්ත ගතිය වූ ශීඝ්‍ර‍ ගමන වලකා, කාය ගතිය වූ ලැසි ගමන පිහිටුවයි.

 

“උපේක්‍ෂාව ශාන්ත බැවින් සුඛය යි” කියනු ලැබේ. උපෙක්ඛා සහගත චතුර්‍ථධ්‍යාන සම්ප්‍ර‍යුක්ත වූ සංඥාව බර වූ නීවරණයන් ගෙන් ද, ඖදාරික වූ විතර්‍කාදියෙන් ද, විශේෂයෙන් මිදුණු හෙයින් ලඝු සංඥාය යි කියනු ලැබේ. ඒ සුඛ සංඥාවට හා ලඝු සංඥාවට බටුවා වූ මේ ධ්‍යාන ලාභියා ගේ චාතුර්භෞතික වූ ශරීරය පුළුන් පොදක් මෙන් සැහැල්ලු වේ. එහෙයින් සුළඟෙහි ලූ පුළුන් පෙඳක් සේ සැහැල්ලු වැ, පෙනෙන සිරුරින් යුතු වැ බඹ ලොවට යයි. මෙසේ යනුයේ, රිසියේ නම් පඨවි කසිණ වසයෙන් අහසෙහි මඟක් නිර්මිත කොට ගෙන එහි පයින් ම යයි. ඉදින් රිසියේ නම් වායො කසිණයට සමවැද වාතයක් නිර්මිත කොට ගෙන පුළුන් පෙඳක් සේ වාතයෙන් යයි.

 

විශේෂ :- මෙහි වූ කලි ‘යනු කැමැත්ත මැ’ පමණි. යනු කැමැත්ත ඇති කල මෙසේ කළ චිත්තාධිට්ඨාන ඇතියේ ඒ අධිට්ඨාන වේගයෙන් මැ උඩට නගන ලද්දේ, දුන්නෙන් නගන ලද ඊතලයක් සේ දෘශ්‍යමානව මැ යන්නේ ය.

 

චිත්ත වසෙන කායං පරිණාමෙති[437] “කය ගෙන සිතෙහි නංවයි.

 

ඒ මෙසේ යි:- කය ගෙන සිතෙහි නැංවීමෙන්, සිත අනු වැ කය සීඝ්‍ර‍ව ගෙන ගමන් කරවයි. සිතෙහි ගමන සීඝ්‍ර‍ හෙයිනි. පෙර කී සේ රූප කායාලම්බනික ව උපන් සෘද්ධි චිත්තය හා සම්ප්‍ර‍යුක්ත වූ සුබ සංඥාවට ද, ලඝු සංඥාවට ද, බසී. හේ චිත්ත ගතිත මැ වේ.

 

මෙසේ සිත අනු වැ නො පෙනෙන සිරුරින් යනුයේ වෙයි.

 

ප්‍ර‍ශ්නයෙකි :- එසේ යනුයේ ඒ අධිට්ඨාන චිත්තයා ගේ උත්පාදක්‍ෂණයෙහි යා ද, නොහොත් ස්ථිතික්‍ෂණයෙහි හෝ භඞ්ගක්‍ෂණයෙහි හෝ යා ද,

 

පිළිතුර :- ඒ ක්‍ෂණත්‍රයෙහි මැ යා යැයි එක් අටුවා ඇදුරු කෙනෙක් කියති. මේ වූ කලි ගමනාරම්භය සඳහා කියන ලදි. ගමනාවසානය නො වේ.

 

විස්තර:- කාය වශයෙන් සිත පැවැත්වීමේදී ලැසි වැ පවත්නා කය අනුව සීඝ්‍ර‍ව පවත්නා සිත සියලු තන්හි එසේ නො පවතී. ‘මේ සිත මේ කය සේ පවතීවා’ යි අධිට්ඨානයෙන් ඒ කයට අනුවර්‍තක වැ ඒ අධිට්ඨාන කළ ස්ථානයට පැමිණෙනතාක් කාය ගතියට අනුකුල වැ චිත්ත පරම්පරා වශයෙන් පැවතීම හේතු කොට සිත කාය ගතියට පිරිනැමීම වේ.

 

‘මේ කය මේ සිත මෙන් පවතීවා’ යි අධිට්ඨානයෙන් පළමු කොට පෙර කී සේ සුඛ-ලඝු සංඥාවන් සම්පාදනය කළ හෙයින් නො වැඩූ ඉද්ධිපාද ඇතියවුනට සේ ලැසිවැ නො පවතී. චිත්ත වාර කීපයකින් වහා අභිමත ස්ථානයට යම් සේ පැමිණේ ද, එසේ පවත්නා කය චිත්ත ගතියට පමුණුවන ලද්දේ ද වෙයි. එක් චිත්තක්‍ෂණයෙකින් කැමති තැනට පැමිණීම නොවේ.

 

එහෙයින් මැ “ශක්තිමත් පුරුෂයෙකු වහා වක් කළ අතක් දික් කරන්නා සේ, දික් කළ අතක් වක් කරන්නා සේ දැ”යි මේ උපමා දැක්වීම නිෂ්පර්‍ය්‍යාය වශයෙනි. (ටීකායෙහි මේ පිළිබඳ විස්තරයෙක් වේ.[438])

 

මේ කීමේ ගමන සඳහා යැ ඉදීම්, සිටීම් ආදිය ද මෙසේ මැ යි.

 

විශේෂ:- නිර්මිත රූපයෙහි වූ කලි ප්‍ර‍සාද රූප-භාව රූපාදිය නැති සෘද්ධිමත් තෙමේ සක්මන් කරනුයේ වී නම්, නිර්මිත ද සක්මන් කර යි’ යනු ශ්‍රාවක නිර්මිතය සඳහා යැ. බුද්ධ නිර්මිත වූකලි භාග්‍යවතුන් වහන්සේ යමක් යමක් කෙරෙත් නම් ඒ ඒ දැය ද, උන්වහන්සේ යමක් යමක් කරනු කැමැත්තෝ නම් ඒ ඒ දැය ද කෙරේ.

 

ඒ ‘සෘද්ධිමත් තෙමේ මිනිස් ලොව සිට දිවැසින් රූප දක්නේ ය, දිව කනින් ශබ්ද අසන්නේ ය’ ‘චෙතොපරියඤාණයෙන් සිත දැනගන්නේ ය’ මෙ පමණෙකින් කයින් වසයෙහි පවත්නේ නො වේයි. එසේ මැ ‘ඒ යෝගාවචරයා මිනිස් ලොව සිට, ඒ බ්‍ර‍හ්මයා සමඟ සිටියි කථා කරයි. සාකච්ඡා කරයි.’ යන මෙ පමණකිනුදු කයින් වසයෙහි පවත්නේ නො වෙයි. එසේ මැ ‘ඒ යෝගි තෙමේ දුර වූයේ ද ළං කොට අධිට්ඨාන කරයි’ යනාදීන් දැක්වූ පරිදි අධිට්ඨාන කිරීමෙක් වෙයි ද, එපමණකිනුදු කයින් වසයෙහි පවත්නේ නො වෙයි. ‘ඒ යෝගී තෙමේ දක්නා ලැබෙන කයින් බඹලොව යයි ද එ පමණෙකිනුදු කයින් වසයෙහි පවත්නේ නො වෙයි. හෙතෙමේ ඒ බ්‍ර‍හ්මයා ඉදිරියෙහි රූප නිර්මිත කෙරේ. යනාදීන් කී ආකාරයට පැමිණේ ද, එ පමණෙකින් කයින් වසයෙහි පවත්වාය’යි කියනු ලැබේ.

 

‘මේ සෘද්ධිමතා ය, මේ නිර්මිතයා යැ’යි දත නො හැකි පමණට සමත්‍වය නිසා ඇතැම් බ්‍ර‍හ්මයින්ට සැක උපදවන හෙයින් එපමණෙකින්න ම මනෝමය අධිට්ඨානය නම් වේ.

 

පෙර කී සියල්ල එයට පූර්‍වභාග වශයෙන් කියන ලදී. මේ ය අධිට්ඨාන සෘද්ධි නම්.

 

විකුර්‍වණ සෘද්ධිය කරන පරිදි :- “සො පකති වණ්ණං විජහිත්‍වා කුමාරවණ්ණංවා දස්සෙති, නාගවණ්ණංවා දස්සෙති. සුපණ්ණවණ්ණංවා දස්සෙති. අසුරවණ්ණංවා දස්සෙති. ඉන්‍දවණ්ණංවා, දෙවවණ්ණංවා, බ්‍ර‍හ්මවණ්ණංවා, සමුද්දවණ්ණංවා, පබ්බතවණ්ණංවා, සීහවණ්ණංවා, ව්‍යග්ඝවණ්ණංවා, දීපිවණ්ණංවා, දස්සෙති. හත්‍ථිමපි දස්සෙති. අස්සම්පි රථම්පී, පත්තිම්පි, විවිධම්පි සෙනාව්‍යුහං දස්සෙති.[439] ‘ඒ සෘද්ධිමත් තෙමේ තමා ගේ ප්‍ර‍කෘති වේශය හැර කුමාර වේශයක් දක්වයි. නාග වේශයක් හෝ ගුරුළු වේශයක් හෝ, අසුර වේශයක් හෝ, ශක්‍ර‍ වේශයක් හෝ, දිව්‍ය වේශයක් හෝ, බ්‍ර‍හ්ම වේශයක් හෝ, සමුද්‍ර‍ වේශයක් හෝ, පර්‍වත වේශයක් හෝ, සිංහ වේශයක් හෝ, ව්‍යාඝ්‍ර‍ වේශයක් හෝ, දීපි වේශයක් හෝ මවා දක්වයි. තමා ඇතකු කොට හෝ, අන් ඇතකු මවා දක්වයි. තමා අශ්වයකු කොට හෝ, අන්‍ය අශ්වයකු මවා දක්වයි. රථ සෙනඟක් හෝ මවා දක්වයි. පාබල සෙනඟක් හෝ මවා දක්වයි. නානාවිධ සේනා සන්නිවේස හෝ මවා දක්වයි.’

 

මේ කුමාර වේශාදීන් අතුරෙන් යමක් යමක් මවනු කැමැත්තේ නම් ඒ ඒ දැය අධිට්ඨාන කිරීමෙන් එසේ කළ යුතු ය. මෙසේ අධිට්ඨාන කරනුයේ ද, පඨවි කසිණාදීන් අතුරින් යම් කිසි ආරම්මණයකින් අභිඥාපාදක ධ්‍යානයට සමවැද, එයින් නැඟී තමා කුමාර වේශයක් ආවර්‍ජනා කළ යුතු ය. එසේ ආවර්‍ජනා කොට පරිකර්‍මාවසානයෙහි නැවත සමවතට සමවැද එයින් නැගී ‘මෙබඳු කුමාරයෙක් වෙමි’යි අධිට්ඨාන කළ යුතු ය. ඒ අධිට්ඨාන සිත හා සමග කුමාරයෙක් වේ.

නිදර්‍ශන :- දෙව්දත් තෙර අජාසත් කුමරු පහදවා ගැනීමට මවාපාන ලද කුමාර වේශය මෙනි[440] අන් සියලු තන්හි ද මෙසේ ය.

 

විශෙෂ :- “ඇතකු දක්වයි” යනාදිය තමා ඇතකු කොට දැක්වීම ද, පිටත ඇතකු මවා දැක්වීම ද සඳහා කියන ලදී. එහිලා ඇතෙක් වෙමි’යි නො ඉටා ඇතෙක් වේවා යි ඉටිය යුතු. අශ්වාදීන්හි ද එසේමය.

 

මේයැ විකුර්වණ සෘද්ධි නම්.

 

මනෝමය ඉද්ධිය

 

‘මනෝමය’ කායයක් මවනු කැමැත්තේ පෙර කී සේ පාදකධ්‍යානයෙන් නැගී පළමුව තමා කාය ආවර්‍ජනා කොට යට කී සේ ‘සිදුරක් වේවා’ යි ඉටිය යුතු. එකල සිදුරක් වේ. නැවත සිදුර ඇතුළත අනෙක් කයක් ආවර්‍ජනා කොට පෙර කී සේ මැ ඒ සිදුර ඇතුළෙහි එබඳු ‘කයක් වේවා’ යි ඉටයි. ඒ යෝගී තෙමේ මුදු තණ ගසින් ඇද ගන්නා ගොබයක් මෙන් ද, කොපුවකින් ඇද ගන්නා කඩුවක් මෙන් ද, සැවයකින් පිටත නික්මෙන නයෙකු මෙන් ද, ඒ අනෙක් කය ඇද ගනී. එහෙයින් කියන ලදී.

 

“ඉධභික්ඛු ඉම්හාකායා අඤ්ඤංකායං අබිනිම්මිණාති රූපිංමනොමයං සබ්බඞ්ග පච්චඞ්ඟිං අහිනින්‍ද්‍රියං. සෙය්‍යථාපි පුරිසො මුඤ්ජමහා ඊසිකංපවාහෙය්‍ය, තස්සඑවමස්ස, අයංමුඤ්ජො අයංඊසිකා අඤ්ඤොමුඤ්ජො අඤ්ඤාඊසිකා මුඤ්ජමහාඑව ඊසිකා පවාළ්හාති.”[441]

 

‘මේ ශාසනයෙහි ඒ ධ්‍යානලාභී භික්‍ෂු තෙමේ මේ කයින් සියලු අඞ්ග ප්‍ර‍ත්‍යඞ්ග ඇති, පරිපූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති, රූපවත් වූ සිතින් නිර්මාණය කරන ලද අනෙක් කයක් මවා දක්වයි. යම්කිසිවකු මුඤ්ජතෘණයෙන් ගොබයක් ඇදගන්නා මෙනි. ඕහට ‘මේ මුඤ්ජතෘණයැ, මේ ගොබ යැ මුඤ්ජතෘණය අනෙකෙක, ගොබය අනෙකක. ‘මුඤ්ජතෘණයෙන් මැ ගොබය ඇදගන්නා ලද්දේ ය’යි මෙබඳු අදහසක් වේ” මේද එසේ මැයි.

 

මෙසේ මනෝමය රූපය, සෘද්ධිමත් හු හා සදෘශ මැ වේය යි, දක්වනු සඳහා මේ උපමා කියන ලදී.

මේයැ මනොමය සෘද්ධි නම්.

 

මෙතෙකින් හුදීජන ප්‍රමෝදය සඳහා කළ

විශුද්ධි මාර්‍ගයෙහි ඉද්‍ධිවිධ නිර්‍දෙශ නම්

දොළොස්වන පරිච්ඡේද යි. සමාප්තයි.


13 වන පරිච්ඡේදය

අභිඥා නිර්දේශය

 

දිබ්බසෝත ඤාණය (1)

 

‘ඉද්ධිවිධ නිර්දේශයට අනතුරුවැ අභිඥා උපදවන ක්‍ර‍මය දැක්වීම් වශයෙන් අභිඤ්ඤා පාළිය දක්වන ලදී. එහි ද ත්‍රිවිධ අභිඥා අතුරෙන් (එහි දක්වන ලද පරිදි) දිබ්බසොත ධාතුව පිළිබඳ දේශනා ක්‍ර‍මය ප්‍ර‍ථම කොට වදාරන ලදි.

 

ඒ මෙසේ ය.

“සො එවං සමාහිතෙ චිත්තෙ -පෙ- දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසකාය උභොසද්දෙ සූණාති, යෙ දුරෙ සන්තිකෙචාති.”[442] ‘ඒ යොගාවචර භික්‍ෂුතෙමේ පෙර කී සේ සිත චතුර්‍ථධ්‍යාන සමාධීන් සමාධිමත් වූ කල්හි, -පෙ- පිරිසිදු වූ, මිනිස් කන්හි ශබ්ද ඇසීමේ ශක්තිය ඉක්ම සිටී, ‘දෙවියන් ගේ සෝතය වැනි හෙයින් දිබ්බසොතය’යි කියන ලද නුවණින් දිව්‍යමය වූ ද, මනුෂ්‍යමය වූ ද, උභය ශබ්දයන් අසා” යයි වදාරන ලදි. (මෙහි පෙර කී අර්‍ථයන් හැර, විශෙෂ ස්ථාන මැ විස්තර කරනු ලැබේ) එහි පදයක් පාසා විස්තර මෙසේයි.

 

දිබ්බාය සොතධාතුයා = දෙව්ලොව වූවෝ දිව්‍යයෝ ය. ඒ දෙවියන් හට, ශ්‍ර‍ද්ධා බහුල භාවය, පරිශුද්ධ දෘෂ්ටිය, ආනිසංස ඇදහීම ය, යනාදි මනාව පැවති පුණ්‍යකර්‍මයෙන් නිපන් හෙයින් ද, ඉතා දුරෙහි වූ ද, ඉතා සියුම් වූ ද, ශබ්ද ඇසීමට පවා සමර්‍ථ පසාද සොතධාතුව වෙයි.

 

එසේ මැ මේ යෝගි භික්‍ෂුව ගේ වීර්‍ය්‍යාරම්භ වශයෙන් අභිමතාර්ථ සිද්ධිය කන හෙයින් වීර්‍ය්‍ය භාවනා නම් වූ කුශල භාවනාවෙනේ නොහොත් ප්‍ර‍ධාන සංස්කාර සඞ්ඛ්‍යාත ඉද්ධිපාද භාවනාවෙන් නිපන් ප්‍ර‍ඥාමය වූ උපක්ලේශ විනිර්මුක්ත හෙයින් දුරයෙහි ද, සියුම් වූ ද, ආලම්බන පිළිගැනීමෙහි සමර්‍ථ හෙයින් දිව්‍ය ශ්‍රෝතය වැනි වූයේ හෝ, දිව්‍ය විහාර සඞ්ඛ්‍යාත රූපාවචර සතර ධ්‍යානයට අන්තර්‍ගත වූ චතුර්‍ථධ්‍යානය නිසා ලබන ලද හෙයින් ද, දිව්‍යනම් වූ තතු සේ ශබ්ද ස්වභාවය අවබෝධ කරන හෙයින් සෝත නම් වූ ද, ආත්මාදීන් ශුන්‍ය හෙයින්, හා ස්වලක්‍ෂණය දරන හෙයින් ද, ධාතු නම් වූ හෝ හුදෙක් ඇසීම් මාත්‍ර‍ය කරන හෙයින් ශ්‍රෝතය වැනි හෙයින් ශ්‍රෝත්‍ර‍ ධාතු නම් වූ දිව්‍ය ඥානයෙන් (වැලි කෙබඳු දැ යි දක්වනු වස් මෙම වදාළහ.)

 

විසුද්ධාය= (ශබ්දයාගේ සන්නිඨානයට පැමිණීම් වශයෙන් ද, ඥානයා ගේ උපක්ලේශ විනිර්මුක්ත හෙයින් ද,) පිරිසිදු වූ,

 

අතික්කන්තමානුසකාය = (ශබ්ද ඇසීමෙහි ලා මිනිසුන් විසින් ස්වභාවයෙන් ලබන විෂය ප්‍ර‍මාණය ඉක්ම, දෙවියන් ගේ කථා ශබ්දය ඇසීමෙහි දී දෙවියන් ගේ ශ්‍රෝතයට විෂය වූ ප්‍ර‍මාණයෙහි පවත්නා හෙයින්) මනුෂ්‍ය විෂය ඉක්මවා සිටියා වූ (යම් ඥාන ශ්‍රොත්‍ර‍කින්)

 

උභො සදේද සුණාති  = දෙව් මිනිස් දෙ පසෙහි වූ ශබ්දයන් අසයි. (මෙහි වූ කලී ඒක දෙශයක් කියන ලදී. එය නිරවශේෂයෙන් දක්වනුවෝ,)

 

යෙ දූරෙ සන්තිකෙවා = අන්‍ය චක්‍ර‍වාටාදි බැහැර තන්හි හෝ, යටත්පිරිසෙන් තම සිරුර පිළිබඳ වූ ද, උකුණු-මකුණු ආදීන් ගේ ද, යම් ශබ්දයක් වේ ද (මේ සියලු සවිඥානක අවිඥානක ශබ්ද ගැනීම සඳහා කියන ලදී.)

 

එය ඉපදිය යුතු පරිදි මෙසේයි:- ඒ යෝගී භික්‍ෂුව අභිඥා පාදක චතුර්‍ථධ්‍යානයට සමවැදී එයින් නැගී, පරිකර්‍ම වශයෙන් හටගත් සමාධි සිතින් පළමු කොට ප්‍ර‍කෘති ශ්‍රොත්‍ර‍්‍රප්‍ර‍සාදයට විෂය වූ අරණ්‍යාදි බැහැර තන්හි වූ සිංහාදීන් ගේ ඖදාරික ශබ්දය ආවර්‍ජනා කළ යුතුයි. මේ සියල්ලම ඖදාරික ශබ්දය ගැනීම සඳහා ය. (තුන් යොදුනක් ද බැහැර වූ ඝොර සිංහ නාදය ඇසෙතැයි කියති.)

 

මෙසේ ක්‍ර‍මයෙන් ළං ළං වැ අවුත් විහාරයෙහි ගෙඩිය ගසන ශබ්දය, බෙර - සක් ශබ්ද පිළිවෙළින් අවුත් භික්‍ෂු සාමණෙරයන් ගේ වේගවත් වූ සජ්ඣායන ශබ්දය, “කිම ස්වාමීනි! කිම ඇවැත්නි! යනාදි ප්‍ර‍කෘතියෙන් කථා කරන ශබ්දය, පක්‍ෂි-වාත-පාද යනාදියෙහි ශබ්දය, අව්වෙහි වියලෙන තල්පත් වල ශබ්දය, කුරු-කුහුඹු ආදීන් ගේ ශබ්දය දැයි මෙසේ සියලු ශබ්දය ආවර්‍ජනා කටයුතු ය.

 

එසේ මැ දිශා සම්බන්‍ධයෙහි ශබ්ද මෙනෙහි කරන පරිදි දක්වති.

 

පූර්‍ව දිශාවෙහි වූ (දිව්‍ය ශ්‍රෝතය ඉපදවීමට හේතු වූ) ශබ්දය ද, පශ්චිම - උත්තර - දක්‍ෂිණ-හෙට්ඨිම-උපරිම දිශාවන්හි වූ ශබ්ද ද, නිරිත-ඊසාන-වයඹ-ගිනිකාණ යන අනුදිශාවන්හි වූ ශබ්ද ද මෙනෙහි කටයුතු ය. මෙසේ මෙනෙහි කරන යෝගියා හට ඒ ශබ්ද ප්‍ර‍කෘති සිතට ප්‍ර‍කට වෙයි. පරිකර්‍ම සමාධි සිතට වූ කලි අතිශයින් ප්‍ර‍කට වේ මැයි.

 

මෙසේ ශබ්ද නිමිත්ත මෙනෙහි කරන්නා හට ‘දැන් දැන් දිව්‍ය ශ්‍රෝත්‍ර‍ය උපදනේ ය’යි කිය යුතු මොහොතෙහි කරන ලද යම් කිසි ශබ්දයක් අරමුණු කොට මනෝද්වාරාවර්‍ජන සිතක් ඉපිද නිරුද්ධ වූ කල තික්ඛපඤ්ඤ-මන්‍දපඤ්ඤයන් ගේ වශයෙන් උපදනා ජවනයන් අතුරෙන් පූර්‍ව වැ උපදනා උපචාර, අනුලෝම, ගොත්‍ර‍භු යන කාමාවචර ජවන තුනට) අනතුරු වැ, සතර වනුවැ හෝ (මන්‍දපඤ්ඤයා ගේ වශයෙන් පරිකර්‍ම, උපචාර, අනුලොම, ගෝත්‍ර‍භූ යන කාමාවචර ජවන සතරට) අනතුරු වැ, පස්වනුව හෝ රූපාවචර චතුර්‍ථධ්‍යාන අර්පණා චිත්තය උපදී. ඒ සිතෙහි උපදනා ඤාණය දිව්‍ය ශ්‍රෝත්‍ර‍ධාතු නමැයි දතයුතු.

 

විස්තර :- එය ස්ථිඑ වැ පවත්නා සේ කරනුයේ පාදක ධ්‍යානයට අරමුණු වූ කසිණ නිමිත්ත ‘මෙතෙක් තැන පැතිරේව’යි මෙනෙහි කරයි. එයට සමවදනහු ගේ කසිණ නිමිත්ත එතෙක් තැන පැතිරේ එකල ඒ යෝගී තෙම පාදක ධ්‍යානයෙන් නැගී එහි වූ ශබ්දය ආවර්‍ජනා කෙරේ. මෙතෙක් තැන ශබ්දය අසමි’යි එක් අගුල් තැන් පිරිසිඳ වැඩිය යුතු. අනතුරුවැ දැඟුල්-සතරගුල්-අටගුල්-වියත්-රියන් ඇතුළු ගප්-නිසවත්-පහය-පිරිවෙන්-සඟරම්-ගොදුරුගම්-දනවු ආදි වශයෙන් ක්‍ර‍මයෙන් සක්වළ තෙක් ද, එයින් පිටත ද, පිරිසිඳ වැඩිය යුතු. මෙසේ ලැබූ අභිඥා ඇති යෝගී තෙමේ පාදකධ්‍යානා ලම්බනයෙන් සම්මර්‍ශනය කරන ලදු වැ ශරීරය ඇතුළත වූ, ශබ්ද ද, නැවත පාදක ධ්‍යානයට සම නො වැදී (අභිඥා ඥානයෙන්) දිව්‍යශ්‍රොත්‍ර‍ඥානයෙන් අසාම ය.

 

මෙසේ අසන්නේ ද, බඹ ලොව තෙක් භෙරි-පණවාදි ශබ්දයෙන් ඒක කෝලාවහල වූයේ ද, වෙන වෙනෙ වස්තු වශයෛන් ඒ ශබ්දයක් අරභයා උපන් මනොරාවජ්ජන චිත්තයට අනතුරු වැ ජවන සතරක් හෝ පහක් හෝ උපදී. ඉන් අසාන ජවනය මේ ඉද්‍ධිවිද්‍ධ චිත්තය ය.

 

බේදා අසනු කැමැති වූයේ නම් ඒ එක එක ශබ්දයක් පාසා නැවත නැවත පාදක ධ්‍යානයට සමවැදිය යුතු. ‘මේ බෙර හඬය’යි නියම වශයෙන් පිරිසිඳිත හැකිවේ මැයි.

 

දිබ්බසෝත ධාතුකථාව සමාප්ත යි.

 

චේතෝපරිය ඤාණය (2)

 

දිව්‍ය ශ්‍රෝත්‍ර‍යට අනතුරු වැ චේතෝපරිය ඤාණය දක්වනු ලැබේ. චිත්තයේ සරාගාදි ස්වභාවය පිරිසිඳ දැනීම චේතෝපරිය යි. මෙහි පරිය ශබ්දය (“පරිපුබ්බ අය = ගතියං”යි) ගමනාර්‍ථ ‘අය’ ධාතුවෙන් සිද්ධ ය. ‘ගමනාර්‍ථ ධාතු’ අවබෝධාර්‍ථයෙහි ද, වැටෙන හෙයින් ‘පරිය’ ශබ්දයෙන් පිරිසිඳීම් මාත්‍ර‍ය පමණක් නො වැ ‘දැනීම’ ද කියැවේ. එසේ තමාගෙන් අන්‍ය සම්ත්‍වයන් ගේ සිතෙහි ස්වභාවය පිරිසිඳ දන්නා නුවණ මෙයින් අභිප්‍රේතයි.

 

විශේෂ :- ‘පර සත්තානං පර පුග්ගලානං’[443] යි පෙළෙහි වචන දෙකක් වුව ද, අදහස් එකෙක් මැයි. විනෙය ජනයන් ගේ අදහස් වශයෙන් හෝ, දේශනා විලාශ වශයෙන් හෝ ව්‍යඤ්ජනයන් ගේ නානාත්‍වය කරන ලදී. තමා ගේ සිතින් අන්‍යයන්ගේ සරාගාදි සිත් එබඳු ලක්‍ෂණ අනුවැ ඇති සේ පිරිසිඳ දැනීම මෙහි අර්‍ථයි. ඒ ලැබෙනුයේ මෙසේයි.

 

මේ චේතෝපරිය ඤාණය, දිව්‍යඤ්චක්‍ෂුරභිඥානය වශයෙන් සමෘද්ධ වේ. ඒ දිව්‍යඤ්චක්‍ෂුරභිඥානය මේ චේතෝපරිය ඤාණය ඉපදවීමට පරිකර්‍ම වේ. එහෙයින් චේතෝපරියඤාණය උපදවනු කැමැති, දිව්‍යඤ්චක්‍ෂුරහි ඥානලාභී භික්‍ෂුව විසින් කසිණා ලෝකය වඩා දිව ඇසින් මෙරමා හෘදය බැලිය යුතු යි. ඒ වූකලි යට කායගතාසතියෙහි දැක්වූ හෘදය මාංස පිණ්ඩයයැ. පිටතින් පියුම් කැකුළක සටහන් ඇති, ඇතුළත වැටකොලු කොස්සක් වැනි වූ එය ඇසුරු කොට මතු කියනු ලබන ලෙය පවතී. හෘදය වස්තුව ඒ ලෙය නිසා පවතී. චක්‍ෂුරාදි සෙසු වස්තු රූපයක් මෙනි.

 

දිව්‍යඤ්චක්‍ෂුරභිඥාන ලාභී යෝගාවචරයා විසින් ඒ හෘදය ඇසුරු කොට පවත්නා ලෙයෙහි වර්‍ණය බැලීමෙන් සරාගාදි සිත බැලිය යුතු වේ. ලෙයෙහි වර්‍ණය බැලීමෙන් අරූප වූ සිත කෙසේ බැලිය හැකි වේද සොමනස්සාදි සිත් පවත්නා අවස්ථාවෙහි ඒ චතු සමුට්ඨානික රුධිරයද, රත් පැහැවීම් ආදියට පැමිණෙන හෙයිනි.

 

ඒ එසේ මැයි:- සොම්නස් සිතක් පවත්නා කල ඒ ලෙය විලිකුන් නුග ඵලයක් සේ රතු වේ. දොම්නස් සිතක් පවත්නා කල විලිකුන් දඹ ඵලයක් සේ කලු වේ. උපේක්‍ෂා සිතක් පවත්නා පහන් තලතෙල් බඳු පැහැ වේ. එහෙයින් ඒ හේතුන් අනුව මේ සිත සොමනස්සින්‍ද්‍රිය සහගත යැ. මේ සිත උපෙක්ඛින්‍ද්‍රිය සහගත යැයි දැනගනී. මෙසේ අනුමාන වශයෙන් දිව්‍යඤ්චක්‍ෂුරභි ඥානයෙන් දැනගත් පසු නැවත නැවත නුවණ මෙහෙයා සෙවීමෙන් චේතෝපරිය ඤාණය ශක්තිමත් බවට පැමිණවිය යුතු.

 

විස්තර :- මේ චේතෝපරිය ඤාණය උපදවනු කැමති යෝගාවචර තෙමේ රූපාවචර චතුර්‍ථ ධ්‍යානය උපදවා, එය ස්ථිර බවට පමුණුවා, දිව්‍යඤ්චක්‍ෂුර්ලාභී වැ ආලෝකය වඩා දිවැසින් මෙරමා ගේ හෘදය වස්තුව ඇසුරුකොට පවත්නා රුධිර වර්‍ණය බලා ඒ වර්‍ණය අනුවැ පෙර කී සේ ‘දැන් මොහු ගේ සිත සොම්නස් සහගත යැ, දැන් දොම්නස් සහගත යැ’ යනාදි ක්‍ර‍මය ගැනීමෙන් ව්‍යවස්ථා කොට පාදක ධ්‍යානයට සමවැද එයින් නැඟී “මොහු ගේ සිත දනිමි. මොහු ගේ සිත දනිමි”යි මෙසේ පිරියම් කටයුතු. සිය දහස් වරකුදු මෙසේ බලන කල, ‘දැන් චේතෝපරිය ඤාණය උපදනේයැ යි කිය යුතු. ක්‍ෂණයෙහි එසේ උපදනා සිත අරමුණු කොට මනෝද්වාරාවජ්ජන සිතක් උපදී. එයට අනතුරු වැ පෙර කී සේ ජවන් පසක් හෝ සතරක් උපදී. එයින් පස්වැන්න හෝ, සතර වැන්න රූපාවචර චතුර්‍ථධ්‍යාන සිත යැ. ඒ සිත හා යෙදුණු ප්‍ර‍ඥා චෛතසිකය චේතෝපරිය ඤාණය නම් වේ.

 

ඒ අභිඥාලාභී යෝගාවචර තෙමේ මෙරමා ගේ සිත දැනගැනීම පිණිස පරිකර්‍ම කොට ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් දැනීමෙන් එය ප්‍ර‍කට කෙරේ. එය නැවත නැවත සමවැදීමෙන් ශක්තිමත් වූ කල්හි, ක්‍ර‍මයෙන් සූ පනස් කාමාවචර චිත්තය ද, සියලු රූපාවචර චිත්තය ද, අරූපාවචර චිත්තය ද, සරාගාදි ප්‍රභේදයෙන් දැන ගන්නේ ය.

 

තවද හෘදය වස්තුව රූපය බැලීමෙන් තොරව ද, සිතින් සිතට සංක්‍ර‍මණය වන්නා සේ දැන ගන්නේ ය.

 

ප්‍ර‍ශ්නයෙකි:- අරූප භූමියෙහි මෙරමා සිත දැනගනු කැමති චේතෝපරියඤාණලාභී තෙමේ කවරකු ගේ හෘදය වස්තු රූපයක් බලා ද කවරකු ගේ ඉන්‍ද්‍රිය විකෘතියක් බලා ද

 

පිළිතුර :- එහි වස්තු රූප අවිද්‍යමාන හෙයින් කිසිවකු ගේ වස්තු රූපයක් නො බලයි. පෙර කී සේ හෘදය වස්තු රූපාදිය බැලීම සඳහා මෙහි උත්සාහ වැඩීම ආදිකර්මිකයා ගේ වශයෙන් කියන ලදී. එහෙත් කෘතාභිනිවේශ ඇති සෘද්ධිමත් තෙමේ, හෘදය වස්තු රූපය නො බැලුව ද, සිතින් සිතට සංක්‍ර‍මනය වීම් වශයෙන් හෝ ආවර්‍ජනා බලයෙන් හෝ දොළොස් වැදැරුම් අරූපාවචර සිත ද බලන්නේ ය.

විශේෂ:- මෙහි පෘථග්ජන අභිඥාලාභීන් දැක් වූ හෙයින් ලෝකෝත්තර සිත මෙහි ලා නො දක්වන ලදි.

 

විස්තර:- “සරාගංවා චිත්තං” යනාදී වශයෙන් සොළොස් වැදෑරුම් සිත් (බලන්නේ ය.)

 

(1) සරාගංවා චිත්තං = අට වැදෑරුම් ලෝභ සහගත සිත. (8)

 

(2) වීතරාංග චිත්තං = අන්‍ය වූ චතුර්භුමික කුසල අව්‍යාකෘත සිත් එක් අසූව 81 (දෝමනස්ස සිත් දෙක හා, මෝ මූහ සිත් දෙක මෙහි නො ගැනෙතැ යි යෙත්. ඇතැම් ආවාර්‍ය්‍ය කෙනෙක් එය ද යෙදෙතැයි ද යෙති.)

 

(3) සදෝසං චිත්තං = දෝස මූලික දෙ සිත (2)

 

(4) වීත දොසං චිත්තං = සෙසු කුසල අව්‍යාකෘත සත් අසූ සිත් (87) මෙහි ද සෙසු දස අකුසල් නො යෙදෙතැයි ද යෙති.)

 

(5) සමෝහං චිත්තං = මෝමූහ සිත දෙක හෝ දෙළොස් අකුසල් සිත් (12) මෝහය සියලු අකුසල්හි යෙදෙන බැවිනි.

 

(6) වීත මොහං චිත්තං = සෙසු කුසල, අව්‍යාකෘත සත් සැත්තෑ සිත්. (77)

 

(7) ස ඛිත්තං චිත්තං = ථීන - මිද්ධ සහගත වූ සසඞ්ඛාරික අකුසල් සිත් පස (5) (අරමුණෙහි හැකිලෙන බැවිනි.)

 

(8) වික්ඛිත්තං චිත්තං = උද්ධච්ච සම්පයුත්ත අකුසල චිත්තය උද්ධච්චය දොළොස් අකුසල සිත්හිමැ යෙදෙන හෙයින් අකුසල සිත් දොළොසම හෝ මෙහි යෙදේ.

 

(9) මහග්ගතං චිත්තං = රූපාවචර - අරූපාවචර සිත් සත් විස්ස (27)

 

(10)    අමහග්ගතං චිත්තං = අන්‍ය වූ සියලු දෙ සැට සිත් (62)

 

(11)    සඋත්තරං චිත්තං = සියලු ත්‍රෛභූමික සිත් එක් අසූව (81)

 

(12)    අනුත්තරං චිත්තං = ලෝකෝත්තර සිත් අට (8)

 

(13)    සමාහිතං චිත්තං = උපචා සමාධියට හෝ, අර්පණා සමාධියට පැමිණි සිත්

 

(14)    අසමාහිතං වා චිත්තං = එසේ සමාධියට නො පැමිණි සිත්

 

(15)    විමුත්තං චිත්තං = තදඞ්ග විමුක්ති වශයෙන් කාමාවචර කුසල් සිත් ද, වික්ඛම්හන විමුක්ති හෙයින් රූපාවචර, අරූපාවචර චිත්තය ද, සමුච්ඡේද විමුක්ති හෙයින් මාර්‍ග චිත්තයද පටිප්පස්සද්ධි විමුක්ති හෙයින් ඵල චිත්තය ද, නිස්සරණ විමුක්ති හෙයින් මාර්‍ග-ඵල සිත් දෙ කොටස ම ද විමුක්ත සිත් නම්

 

(16)    අවිමුත්තං චිත්තං = මෙකී පඤ්චවිධ (5) විමුක්ති වශයෙන් කෙලෙසුන් කෙරෙන් නො මිදුණු සිත් ද, (මෙසේ සොළොස් ආකාරයෙන් පැවැති සිත් ඒ ඒ ආකාරයෙන් දැන ගන්නේ ය.)

 

විශේෂ:- පෘථග්ජන අභිඥා ලාභීන් සඳහා කියන ලදැ යි කිව ද, මෙහි වීතරාග, වීතදෝස, වීතමෝහ අනුත්තර යන නම් වලින් ලොකොත්තර සිත ද ගැනෙන හෙයින් මතු මතු ආර්‍ය්‍යයන් ගේ හා සමාන ආර්‍ය්‍යයන් ගේ ද, ලෝකෝත්තර සිත් දැන ගැනීම වශයෙන් මෙ කී බැව් සැලකුව මනා ය.

 

චේතෝ පරිය ඤාණ කථාව සමාප්ත යි.

 

පූර්‍වෙනිවාසානුස්මෘතිඥානය (3)

 

චේතෝ පරිය ඤාණ කථාවට අනතුරු වැ පූර්‍වෙනිවාසානුස්මෘති ඥාන කථාවට වාය පැමිණියේ වෙයි.

 

‘පූර්‍වෙ නිවාසය සිහි කෙරේනු යි’ හෝ ඔහු ගේ සිහි කිරීම හෝ පුබේබෙනිවාසානුස්මෘති නම. ඒ නිශ්‍ර‍ය කොට පැවැති ඥානය පූර්‍වෙනිවාසානුස්මෘති ඥාන නමි. පෙර ජාතීන්හි කාම රූපා‘රූප භවයන්හි පැවැති ස්කන්ධ පරම්පරාව සිහි කිරීමට සමර්‍ථ වූ ස්මෘතිය හා එක්වැ පැවැති ඥානය මෙහි අභිප්‍රේත යැ. මෙසේ සැකෙවින් දක්වන ලද්ද පදයක් පාසා විස්තර කරති.

 

පුබ්බෙනිවාසානුස්සති ඤාණය = පෙර විසූ කඳ පිළිවෙළ දක්නා ඤාණය පිණිස

 

විස්තර :- අතීත ජාතීන්හි ස්වසන්තානයෙහි පැවැත්තා වූ ද, ඉපද නිරුද්ධ වූ ද, ස්කන්ධය අරමුණු කිරීම් වශයෙන් ස්වවිඥාන ගෙධ්චර කිරීමෙනේ ජාති-ගෝත්‍ර‍-නාම-වර්‍ණාදීන් නුවණින් පිරිසිඳ ගන්නා ලද්දාහු ද, අතීත ජාතීන්හි බුද්ධාදි අන්‍යයන් ගේ ද නුවණින් පිරිසිඳිනා ලද්දාහු ද වෙති. ශිඛාප්‍රාප්තපූර්‍වෙනිවාස දැක්වීම සඳහා මේ කීහ.

 

ඒ පූර්‍වෙ නිවාසය සිහි කරන සතිය, පුබ්බෙනිවාසානුස්සති නම. ඒ සිහියෙන් යුත් ඤාණය, පුබ්බෙනිවාසානුස්සති ඤාණය යි. ඒ ඤාණයා ගේ අධිගමය පිණිස, (පැමිණීම පිණිස ය) යන අර්‍ථ යි.

 

අනෙක විහිතං පුබ්බෙ නිවාසං අනුස්සරති = නා නා භව - යොනි - ගති සත්ත්‍වාවාසාදි වශයෙන් අනේක ප්‍ර‍කාර වූ ජාති ගෝත්‍රාදි ආකාරයෙන් විස්තර කරන ලද අනතුරු අතීත භවය ආදි කොට ඒ ඒ භවයෙහි පැවැති ස්කන්ධ පටිපාටි වශයෙන් හෝ චුති ප්‍ර‍තිසන්ධි වශයෙන් හෝ පිළිවෙළින් නුවණින් අනුගමනය කොට සිහි කරයි.

 

පුබ්බෙ නිවාසය සිහි කරන්නෝ -

(1) තීර්‍ථකය

(2) ප්‍ර‍කෘති ශ්‍රාවකය

(3) අසූ මහා ශ්‍රාවකය

(4) අග්‍ර‍ශ්‍රාවකය

(5) ප්‍රත්‍යෙක බුද්ධ ය.

(6) සම්‍යක් සම්බුද්ධ ය යි, සදෙනෙක් වෙති.

 

(1) මේ ශාසනයෙන් පිටත් කර්‍මවාදී-ක්‍රියාවාදී-තාපසාදීහු ය. ඔහු ඉකුත් සතලිස් කපක් කල් සිහි කෙරෙති. හේ ද ස්කන්ධ පටිපාටිය වසයෙන් ම ය. අන්‍ධයකු ගේ ගමන මෙනි. (සැරයටිය නැතිවැ අන්‍ධයාට ගිය නො හැක්කාක් මෙනි.) නාම-රූප පරිච්ඡේද ගත විදර්‍ශනා ඥානය නැති හෙයින් දුර්‍වල ප්‍ර‍ඥා ඇති හෙයිනි.

 

(2) ප්‍ර‍කෘති ශ්‍රාවකයෝ කල්ප සියයක් දහසක් සිහි කෙරෙති. හේ ද ස්කන්ධ පිළිවෙළින් හෝ, චුති පටිසන්ධි පිළිවෙළිනි.

 

(3) අසූ මහා ශ්‍රාවකයෝ කල්ප ලක්‍ෂයක් චුති පටිසන්ධි ක්‍ර‍මය අනුවැ සිහි කෙරෙති.

 

(4) දැගසවුවෝ ඒකාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් චුති-පටිසන්‍ධි පිළිවෙළින් සිහි කෙරෙති. (එක සත්ත්‍වයකු ගේ මේ අත්බව්හි පටිසන්‍ධිය බලා, දෙ වන අත්බව්හි චුතිය ද, එහි ප්‍ර‍තිසන්‍ධිය දැ යි මෙසේ පිළිවෙළිනි.

 

(5) පසේ බුදුවරයෝ දෙයාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් චුති පටිසන්‍ධි වශයෙන් සිහි කෙරෙති.

 

විශේෂ :- මහා ශ්‍රාවක ද, අග්‍ර‍ ශ්‍රාවක ද, ප්‍රත්‍යෙක බුද්ධ ද, අභිනීහාරය හා බෝධිසම්භාරය පුරණ කාලය එපමණ හෙයිනි.

 

(7) බුදුවරුන්ට වූ කලී ස්කන්ධ පටිපාටියක් හෝ, චුති පටිසන්‍ධි පටිපාටියක් හෝ, කාල නියමයක් හෝ නැති, එසේ මැ නොයෙක් කෝටි ගණන් කල්ප අතහැර යම් යම් තැනක් රිසියුණෝ නම් ඒ ඒ තැන ප්‍ර‍කට වේ. පෙය්‍යාල මුඛයෙන් දෙසන පාළියක් සේ ය. එසේ බලන්නාහු ද, සිංහ ගතික වැ වාලවේධයෙහි සමර්‍ථ සරභඞ්ගාදි ධනුර්‍ධරයින් විදී හීය, අතර ගස්-වැල් ආදියෙකැ නො ගැටී, ඉලක්කය ම, විදපියන්නා සේ අතරතුර ජාතීන්හි නො ගැටී අභිමත ජාතියෙහි නුවණ හැපී සිටී. හේ ද කාල වශයෙන් ද අපරියන්ත යැ.

 

තවද තීර්‍ථකයන් ගේ පූර්‍වෙනිවාසානුස්මරණය කණාමැදිරි එළියෙන් බැලීමක් මෙන් ද,

 

ප්‍ර‍කෘති ශ්‍රාවකයන් ගේ පහන් එළියක් මෙන් ද,

මහා ශ්‍රාවකයන් ගේ ගිනි සුලක් මෙන් ද,

අග්‍ර‍ ශ්‍රාවකයන් ගේ ඔසධී තාරක මෙන් ද,

පසේ බුදුවරයන් ගේ සඳ එළිය මෙන් ද,

සම්‍යක් සම්බුදුවරයන් ගේ මධ්‍යාහ්න සූර්‍ය්‍යයා මෙන් ද වැටහේ

 

තවද තීර්‍ථකයන් ගේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය අන්‍ධයාගේ සැරයටි කොණ ගෙන යාම මෙන් ද,

 

ප්‍ර‍කෘති ශ්‍රාවකයන් ගේ තනි ඒදණ්ඩෙහි යාමක් මෙන් ද,

මහා ශ්‍රාවකයන් ගේ පුවරු හෙයකින් යන්නාක් මෙන් ද,

අග්‍ර‍ ශ්‍රාවකයන් ගේ ගැළක් යා හැකි හෙයක යන්නාක් මෙන් ද,

පසේ බුදුවරයන් ගේ පා මඟෙක යන්නාක් මෙන් ද,

බුදුවරයින් ගේ මහා ශකට මාර්‍ගයෙකැ යන්නාක් මෙන් ද වේ.

 

(එහෙත් මේ විෂයයෙහි ශ්‍රාවකයන් ගේ පූර්‍වෙනිවාසානුස්මෘතිය අදහස් කරන ලදී. එහෙයින් මැ ‘ස්කන්ධ පිළිවෙළින් හෝ, චුති පටිසන්‍ධි පිළිවෙළින් හෝ අනුක්‍ර‍මයෙන් සිහිකෙරේ ය’යි කීහු.)

 

විස්තර :- මේ නුවණ ලබනු කැමැති ආදි කාර්මික භික්‍ෂුව පසු බත (පිණ්ඩපාතයෙන් වැළකී) රහසිගතවැ හුදෙකලා වැ එක් අරමුණෙක සිත පිහිටුවා පිළිවෙළින් රූපාවචර චතුර්‍ථධ්‍යානයන්ට සමවැද අනතුරු වැ අභිඥා පාදක චතුර්‍ථධ්‍යානයෙන් නැගී සියලු කටයුතු වලට පසුව වූ ඒ හිඳීම මෙනෙහි කළයුතු. එතැන් සිට පිළිවෙළින් අසුන් පැනවීම ය, සෙනසුනට පිවිසීම ය, පා සිවුරු තැන්පත් කිරීම ය, දන් වැළඳීමය, ගමින් පෙළා ඊම ය, පිඬු සිඟීම ය, පිඬු පිණිස ගමට යාමය, විහාරයෙන් නික්මීම ය, දාගැබ් මහ බෝ වැඳීම ය, පා දෙවීම ය, පාත්‍ර‍ය පිළිගැනීම ය, එයට පෙරටුව මුව දෙවීම තෙක් කළ දැ ද, උදෑසන කාලයෙහි කළ දැ ද, මැදියම කළ දැ ද, පෙරයම කළ දැ ද’යි මෙසේ ප්‍ර‍තිලෝම හෙයින් සියල් රෑ - දාවල් කළ දැ මෙනෙහි කළ යුතු ය. ම් දැ පියවි සිත ද ප්‍ර‍කට වේ. පරිකර්‍ම සමාධි චිත්තයට අතිශයින් ප්‍ර‍කට වේ මැයි.

 

මෙහි ලා යම් කිසිවක් ප්‍ර‍කට නො වේ නම් නැවත පාදක ධ්‍යානයට සමවැද එයින් නැඟී ආවර්‍ජනා කළ යුතු. මෙතෙකින් අන්‍ධකාර ස්ථානයක පහනක් දැල් වූ කලෙක මෙන් ප්‍ර‍කට වේ. (කරය මුවහත් කරන කරගල මෙන් පාදක ධ්‍යානය ද, ස්මෘතිප්‍ර‍ඥාවන් තියුණු කෙරේ.)

 

මෙසේ ප්‍ර‍තිලෝම වශයෙන් දෙවෛනි දවස ද, තුන් වැනි දවස ද, සතර වැනි දවස ද, පස් වැනි දවස ද, දස වැනි දවස ද, අඩ මසක් ද, මසක් ද, අවුරුද්දක් ද තෙක් කළ දෑ ආවර්‍ජනා කළ යුතු. එනයින් දස වසක් ද, විසි වසක් දැ යි මේ අත් බැව්හි තමා පිළිසිඳ තෙක් මෙනෙහි කළ යුතු නැවත මෙයට අනතුරු අත්බැව්හි චුතික්‍ෂණයෙහි පැවති නාම රූපයන් ආවර්‍ජනා කළ යුතු.

 

මේ අභිඥා විෂයෙහි පුරුදු කරන ලද ප්‍ර‍ඥා ඇති භික්‍ෂුව මුල් වාරයෙහි ම ප්‍ර‍තිසන්‍ධි උගුළුවා චුතික්‍ෂණයෙහි පැවැති නාම රූප බැලීමට සමර්‍ථ වේ. එසේ පුරුදු නො කළහුට, “පූර්‍ව භවයෙහි පැවැති නාම රූප නිරවශේෂ වැ නිරුද්ධ විය. අනෙක් කර්‍මයකින් හටගත් නාම-රූප පහළ විය. එහෙයින් ඒ නාම-රූප නික්‍ෂේප ස්ථානය චතුරඞ්ගයෙන් හාත්පසින් වැසුණු ඝනාන්‍ධකාරය මෙන් අප්‍ර‍කට විය”යි මෙසේ ප්‍ර‍තිසන්‍ධිය උගුළුවා චුති අවස්ථාවෙහි පැවැති නාම-රූප දැකීමට අසමර්‍ථය’යි වීර්‍ය්‍යය බහා නොත තැබිය යුතු. ඒ පාදක ධ්‍යානයට නැවත නැවත සමවැද එයින් නැගී ඒ ස්ථානය ආවර්‍ජනා කළයුතු.

 

උපමාවෙකි :- යම්සේ ශක්තිමත් පුරුෂයෙක් කූටාගාර කර්ණිකාවක් සඳහා මහ රුකක් සිඳින්නේ, අතු පතර සිඳීමෙන් ම පොරොව මොට වූයේ නම් එපමණකින් පසුබට නො වැ කඹුරුහලට ගොස් පොරොව මුවහත් කර ගෙන නැවත අවුත් සිඳින්නේ, නැවත මොට වූයේ නම් නැවත ද මුවහත් කරවා සිඳින්නේ, පළමු සිඳි තැන් නැවත නො සිඳිය යුතු හෙයින් හා නො සිඳුතැන් ම සිඳිය යුතු වන හෙයින් ඒ මහා වෘක්‍ෂය නොබෝ කලකින් ම බිම හෙලන්නේ ද, එසේ මැ පාදක ධ්‍යානයෙන් නැගී පළමු වැ ආවර්‍ජනා කළ තැන් නැවත ආවර්‍ජනා නො කළ යුතු හෙයින් ප්‍ර‍තිසන්‍ධිය මැ ආවර්‍ජනා කරන්නේ නොබෝ කලකින් මැ ප්‍ර‍තිසන්‍ධිය උගුළුවා චුතික්‍ෂණයෙහි පැවැති නාම-රූපය මැ ආවර්‍ජනා කරන්නේ ය.

 

මෙහි උපමාන-උපමේය සංසන්‍දනය

 

පූර්‍වෙනිවාසානුස්මෘතිඥානය කූටාගාර කර්ණිකාව මෙනි. පූර්‍වභාගයෙහි ප්‍ර‍තිසන්‍ධික්‍ෂණයෙහි පැවැති නාම-රූප මහ රුක මෙනි. මේ බවෙහි ඒ හා සබඳ පිළිසිඳ අතු-පතර මෙනි. පරිකර්‍ම භාවනාව පොරෝ මුවහත මෙනි. පාදකධ්‍යානය කඹුරුහල මෙනි. අන්‍යවූ ද දරපළන්නෙක, කෙස්බහන්නෙක යන උපමාවන්ගෙන් ද මේ අර්‍ථය මැ ප්‍ර‍කාශ කෙරේ.

 

පෙර කී සේ පශ්චිම නිසද්‍යයෙහි සිට ප්‍ර‍තිසන්‍ධිය තෙක් පැවැති ඥානය පූර්‍වෙනිවාසානුස්මෘතිඥානය නො වේ. ඒ වූකලි පූර්‍වෙනිවාසානුස්මෘතිඥානයට පිරියම් පිණිස පැවැති සමාධිය හා සම්ප්‍ර‍යුක්ත ඥානය වේ. ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් අතීතාංශ ඥානය යි කියති. එය රූපාවචර අතීතාංශ ඥානය සඳහා නො යෙදේ. පරිකර්‍ම සමාධි ඥානය කාමාවචර හෙයිනි.

 

එහෙත් යම් කලෙක ඒ යෝගී භික්‍ෂුව ගේ ප්‍ර‍තිසන්‍ධිය ඉක්ම චුති ක්‍ෂණයෛහි පැවැති නාම-රූප අරමුණු කොට මනොද්වාරා වර්ජන සිත උපදී ද එය නිරුද්ධ වූ පසු එය මැ අරමුණු කොට ජවන් සතරක් පසක් උපදී. ඔවුන්ගේ පූර්‍ව වූ පරිකර්‍මාදිය කාමාවචර සිත් ය. පශ්චිමය රූපාවචර අර්පණා වේ. ඒ සිත හා සමග උපදනා ඥානය ‘පුබ්බෙනිවාසානුස්සතිඤාණ’ නමි. ඒ ඤාණය සමඟ යෙදුණු සතිය කරණකොට අජේකවිධ වූ පූර්‍වෙනිවාස අනුස්මරණය කෙරේ.

 

“එක් ජාතියක් හෝ, දෙකක් හෝ තුනක් හෝ, ඒ ඒ ජාතීන් පිළිබඳ ස්කන්‍ධ සන්තතිය හෝ ජාති දහයක් හෝ නොයෙක් සංවට්ට කල්ප හො නොයෙක් විවට්ට කල්ප, ආකාර සහිත වූ, උදේදස සහිත වූ, අනේකප්‍ර‍කාර වූ පූර්‍වෙනිවාසය සිහි කරයි.”

 

එක් ජාතියක් = එක කර්‍මයෙන් නිපන් පටිසන්‍ධිය මුල්කොට ඇති චුතිය අවසන් කොට ඇති එක භවයක් පිළිබඳ ස්කන්ධ සන්තතිය මෙහි ‘ජාති’ යයි අභිප්‍රේතයැ. සෙස්ස ද මෙසේ මැයි.

 

නොයෙක් සංවට්ට කල්ප = පිරිහෙන්නා වූ කපසංවට්ට නමි.

නොයෙක් විවට්ට කල්ප = වැඩෙන්නා වූ කප විවට්ට නමි.

කපක් පිළිබඳ සංවට්ට සතරෙකි.

සංවට්ටය

සංවට්ටඨායීය

විවට්ටය

විවට්ටඨායීය යි හෙද

ආපෝ සංවට්ටය

තෙජෝ සංවට්ටය,

වායෝ සංවට්ටය යි තුනෙකි.

 

සංවට්ට සීමා ද තුනෙකි. ගින්නෙන් නස්නා කල ආභස්සරයෙන් යට ද, ජලයෙන් නස්නා කල සුභකිණහයෙන් යට ද, වාතයෙන් නස්නා කල වෙහප්ඵලයෙන් යට ද නසී.

 

විස්තර:- ජාතික්‍ෂේත්‍ර‍ය, ආඥාක්‍ෂේත්‍ර‍ය, විෂයක්‍ෂේත්‍රයයි ද තුනෙක් වේ. තථාගතයන් වහන්සේ ගේ ජාත්‍යාදීන්හි කම්පා වන ප්‍රදේශය වූ දස දහසක් සක්වළ ජාති ක්‍ෂේත්‍ර‍ය යැ, රතන සූත්‍රාදීන් ගේ අනුභාවය පැතිරෙන තරම් ප්‍රදේශය වූ කෝටි ලක්‍ෂයක් සක්වල ආඥාක්‍ෂේත්‍ර‍ය යැ, බුද්ධඥාන විෂය වූ අනන්තාපරිමාණ සක්වළ විෂය ක්‍ෂේත්‍ර‍ය යි

 

මොවුනතුරෙන් කල්ප විනාශය වන කාල ආඥාක්‍ෂේත්‍ර‍ය මැ විනාශ වේ. ඒ සමග ජාති ක්‍ෂේත්‍ර‍ය ද, විනාශ වේ. ඒ ඇතුළත වන හෙයිනි. පිහිටන්නේ ද, එකවට මැ පිහිටා මැයි. විෂය ක්‍ෂේත්‍ර‍ය අනන්තාපරිමාණ ය. “තමා ශබ්දය පැතිරවීම්, රූප දැක්වීම් පිළිබඳ වැ යාවතාපන ආකඞ්ඛෙය්‍ය[444] යි. “යම් පමණ කැමැත්තේ නම් එපමණ තන්හිය” යි වදාළ හෙයිනි.

 

විස්තර:- ගින්නෙන් කප නස්නා කල මුලදී මැ කල්ප විනාශක මහා වැසි වසී. හෙද කෙළ ලක්‍ෂයක් සක්වළට එකවට ය. මිනිස්සු තුටු පහටු වැ බීජ සියල්ල වපුරති. ශෂ්‍ය ගවයන් කන පමණ වැඩුණු පසු මේඝ ගර්‍ජනා විනා වැසි පොදකුදු නො වසී. එදා නැවතුණු වැසි නැවතුණේ මැ වේ.

 

“හොති ඛො සො භික්ඛ වෙ සමයො යං බහූනි වස්සසතානි, බහූනි වස්ස සහස්සානි, බහූනි වස්ස සත සහස්සානි දෙවො න වස්සති[445] යි ‘බොහෝ අවුරුදු සිය-දහස්-ලක්‍ෂ ගණන් වැසි නොවස්නා කලෙක් වේය’ යි එයින් වදාළහ.

 

එකල වැස්සෙන් ජීවත් වන සත්ත්‍වයෝ කළුරිය කොට බඹලොව උපදිති. මල් පලයෙහි ඕජාවෙන් ජීවත් වන දෙවියෝ ද, බඹලොව උපදිති. මෙසේ දීර්‍ඝ කාලයක් ගතවත් ම ඒ ඒ තැන ජලය වියළී යයි. එකල මස් කැසුබු ආදීහු බඹලොව උපදිති. නිරි සතුන්ද මැරී බඹලොව උපදිත්.

 

(තිරිසන් සතුන් බඹලොව උපදනේ සත් වැනි සූර්‍ය්‍යයා පහළ වූ පසුවය යි ඇතැම් කෙනෙක් කියති.)

 

ප්‍ර‍ශ්නයෙකි:- ධ්‍යාන නැතිවැ බඹලොව යා නොහේ. මෙහි ඇතැම් කෙනෙක් දුර්භික්‍ෂයෙන් පීඩිත වැ මැරෙති. ඇතැම් කෙනෙක් ධ්‍යාන වැඩීමට අභව්‍ය නො වෙද්ද?

 

පිළිතුර:- දෙව්ලොව ඉපද එහිදී ලබන ධ්‍යාන වශයෙනි.

 

විස්තර:- එකල මින් හවුරුදු ලක්‍ෂයකින් කල්ප විනාශය වේ’ යයි “ලොකබ්‍යුහ” නම් දෙවියෝ කෙස් මුදා විසුරුවා ගෙන හඬමින් අතින් කඳුළු පිසිමින් රතු වත් හැඳ ඉතා විරූප වෙස් දරා මිනිස් පියස හැසිරෙති.

 

මෙසේ ද කියත් “පින්වත්නි! මින් හවුරුදු ලක්‍ෂයකින් කල්ප විනාශය වේ. මේ ලෝකය වැනැසේ. මහ මුහුද පවා වියළේ. මේ මහා පොළොව ද, මහා මේරු පර්‍වතය ද, දා වැනසේ. බඹ ලොව තෙක් සියල්ල වැනසේ.

 

පින්වත්නි! ‘මෙත් වඩව්, කරුණා-මුදිතා-උපේක්‍ෂා වඩව්, මව්-පිය උවටැන් කරව්, කුල දෙටුවන් පුදව්’ කියා ය යි.

 

මේ බස් අසා මිනිස්සු ද, බූමාටු දෙවියෝ ද, මොළොක් සිත් වැ මෙත් වැඩීම් ආදි පින්කම් කොට දෙව්ලොව උපදිති. එහිදී දිව බොජුන් වලඳා වායො කිසුණු පිරියම් කොට ධ්‍යාන උපදවති. අන්‍යයෝ අපරාපරිය වෙද්‍යා කර්‍මයෙන් දෙව්ලොව උපදිති. ‘අපරාපරිය කර්‍ම විරහිත සසර සැරිසරන සත්ත්‍වයෙක් නැති’ ඔහුද එසේ මැ එහි දී ධ්‍යාන උපදවා බඹලොව යති. වැසි නැවතී බොහෝ කලකගේ ඇවෑමෙන් දෙවෙනි සූර්‍ය්‍යයෙක් උපදී. එකල රෑ දාවල් වෙනස නොපැනේ. එකක් උදා වූ කල එකක් බසී. ලෝකය සූර්‍ය්‍යාලෝකයෙන් නිරතුරු වෙයි.

 

විශේෂ:- ප්‍ර‍කෘති සූර්‍ය්‍ය මණ්ඩලයෙහි සූර්‍ය්‍ය දිව්‍ය පුත්‍ර‍යා ඇතත්, දෙවෙනි කල්ප විනාශය සූර්‍ය්‍ය මණ්ඩලයෙහි හේ නැති. එසේම පියවි හිරු පවත්නා කල වලාහක-දුම්-සිළු ඇතත් දෙවෙනි හිරු උදා වූ කල හේ ද නැති වේ. අහස ආදාස මණ්ඩලයක් සේ නිර්‍මල වේ. පස් මහා ගංගාවන් හැර, සෙසු ගංගා, ඇළ, දොළ වියළේ. ඉන් බොහෝ කලක ගේ ඇවෑමෙන් තුන් වැනි හිරෙක් උදා වේ. එකල පස් මහා ගඟ වියළේ. එයින් බොහෝ කලක ගේ ඇවෑමෙන් සිවු වැනි හිරෙක් පහළ වේ. එකල හිමවත මහා ගංගාව හටගන්නා සීහප්‍ර‍පාතය, හංසප්‍ර‍පාතය, කර්‍ණමුණ්ඩකය, රථකාරය, අනවතප්තය, ඡද්දන්තය, කුණාලය යන සප්ත මහා විල් වියළේ.

 

ඉන් බොහෝ කලෙකින් පස්වැනි හිරෙක් උදා වේ. එකල පිළිවෙළින් මහා සාගරයෙහි සුළැඟිල්ල තෙමන පමණ වූ ද ජලය ඉතිරි නොව වියළේ. ඉන් බොහෝ කලෙකින් සවැනි හිරෙක් පහළ වේ. එකල සියලු කෝටි ලක්‍ෂයක් සක්වළ වියළන දුමින් එකට පිරී ගනී. ඉනුදු බොහෝ කලෙකින් සත්වැනි හිරෙක් පහළ වේ. එකල සියලු කෝටි ලක්‍ෂයක් සක්වළ එක මැ ගිනි ජාලාවක් වේ. සියක් යොදුන් පමණ මහත් ගිරි කුළු පැලී අහසෙහි දා විනාශ වේ. එහි ගිනි ජාලාව චාතුර්‍මහාරාජිනක දිව්‍ය ලෝකය තෙක් පැතිරේ. එහි රන් - රිදී - මැණික් - විමන් දවා තව්තිසා දෙව් ලොව තෙක් පැතිරේ. මේ ක්‍ර‍මයෙන් සදිව්‍ය ලෝකයන් දවා ප්‍ර‍ථමධ්‍යාන භුමිය තෙක් පැතිරේ. එහි ද බ්‍ර‍හ්මතල තුන දවා ආභස්සර බ්‍ර‍හ්ම ලෝකයෙහි හැපී සිටී. ඒ ගිනි ජාලාව අණුවක් පමණ වූ ද, ද්‍ර‍ව්‍යයක් පවත්නා තුරු නො නිවේ. සියලු ද්‍ර‍ව්‍ය අවසන් වූ කල ගිතෙල් දැ තැන මෙන් අලු ද ඉතිරි නො කොට නිවී යයි. යට අහස හා උඩ අහස එක් වැ මහාන්‍ධකාර වේ. අනතුරු දීර්‍ඝ කාලයක ගේ ඇවෑමෙන් මහා මේඝයක් නැගී පළමුව සියුම් පොද වැසි වසී. පිළිවෙළින් නෙලුම් දඬු - සැරයටි - මොහොල් - තල් කඳ පමණ වැසි ධාරා වැස කෙළ ලක්‍ෂයක් සක්වළ සියලු දා ගිය තැන් පිරී යයි. ඒ ජලය උඩ යට සරස වාතය නැගී ඝන කොට නො විසිරෙන සේ පිඬු කරයි. පියුම් පතෙක දියත්තක් මෙනි. ඒ මහත් ජලස්කන්‍ධය අතර වාතය ගමන් කළ හැකි සේ විවර දෙමින් ඝන කොට වට කරයි. මෙසේ ක්‍ර‍මයෙන් ඝන වීමෙන් යටට බසී. එසේ ක්‍ර‍මයෙන් බසිත් බසිත් මැ පෙර බඹලොව තුබූ තන්හි බඹ ලොව ද, මතුයෙහි යාම දෙව් ලොව තෙක් සතර කාමාවචර දෙව් ලොව පැවැති තන්හි දෙව් ලොව ද පහළ වේ. චාතුර්‍මහාරාජික, තාවතිංස, දිව්‍යලෝක දෙක පොළොව හා සම්බන්‍ධ හෙයින් එකල පහළ නො වේ. පෙර පොළොව පැවැති තැනට බට කල්හි බලවත් වාතය හට ගනී. ඒ වාතය ධර්‍මකරකයෙහි සිදුර වැසූ කල ඇතුළත රඳන ජලය මෙන් නිරුත්සාහයෙන් පවතී.

 

මිහිරි ජලය ක්‍ර‍මයෙන් ක්‍ෂය වෙමින් මතු පිට රස පඨවිය උපදවයි. එය වර්‍ණයෙන් ද, ගන්‍ධයෙන් ද යුක්ත වේ. නිරූදක ක්‍ෂීරපායාසයෙහි මතු පිට තෙල් පටලය මෙනි. එකල ආභස්සර බඹ ලොවින් චුත වන බ්‍ර‍හ්මයෝ එහි උපදිති. ඔහු තමා ගේ ශරීරාලෝකයෙන් ආලෝක කෙරෙමින් අහසෙහි හැසිරෙති. උපාචාර ධ්‍යාන බලයෙන් එසේ හැසිරෙන ඔව්හු අග්ගඤ්ඤ සූත්‍රයේ[446] කී සේ රස පොළොව ආස්වාදනය කොට රස තෘෂ්ණාවෙන් මඩිනා ලද්දාහු අන් සතු දෙය පැහැර ගෙන අනුභව කිරීමට උපක්‍ර‍ම කෙරෙති. ඉන් ඔවුන් ගේ ශරීරාලෝකය අතුරුදහන් වැ අන්‍ධකාරය වේ. බියට පැමිණි ඔවුන් සනසා පිරිපුන් පනස් යොදුන් ඇති සූර්‍ය්‍ය මණ්ඩල පහල වේ. ඔහු ඒ දැක ‘එළිය ලදුම්හ’ යි තුටු පහටු වැ භය වූ අය සනසා ‘සූර බව් උපදමින් පහළ වූයේය’යි ‘සූර්‍ය්‍ය’ යැයි නම් කෙරෙති. සූර්‍ය්‍යයා දහවල් පැවතී අස්තයට ගිය ඉක්බිති ‘ලැබූ ආලෝකය දැන් නටුයේය’යි භය වූවාහු ‘අනෙක් ආලෝකයක් ලදමෝ නම් මැනවැ’යි සිතත්ම ඔවුන් ගේ සිත දැනමෙන් එකුන් පනස් යොදුන් සඳමඬල පහළ වෙයි. ඒ දැක බොහෝ සෙයින් තුටු පහටු වූ ඔව්හු ඒ අරුත සලකා ‘චන්‍ද්‍ර’ නම් කෙරෙති.

 

මෙසේ සඳ-හිරු පහළ වූ පසු නැකැත් තරු පහළ වේ. එතැන් පටන් රෑ-දාවල් පැනෙයි. අනුක්‍ර‍මයෙන් මාස -අර්‍ධමාස - සෘතු - සංවත්සරයෝ පහළ වෙති. සඳ - හිරු උපන් දා මැ මහමෙර, සක්වළගල, හිමවත් පව් පහළ වේ. ඔහු ද, ක්‍ර‍මයෙන් මැදින් මස පසළොස්වක් දා පහළ වෙත්. පැසෙන තණ පතක එක පැහැර බුබුළු නැගී ඇතැම් පෙදෙස් ථූපයන් සේ උස්ව ද, ඇතැම් පෙදෙස් ආවාටව ද, ඇතැම් පෙදෙස් සමව ද, පැසෙන්නාක් මෙනි මෙසේ ථූප මෙන් වූ තැන් පර්‍වත වේ. ප්‍ර‍පාත මෙන් වූ තැන් සමුද්‍ර‍ වේ. සමතැන් ද්වීප වේ.

 

රස පොළොව වළඳනා ඒ සත්ත්‍වයන් අතුරින් ඇතැම් කෙනෙක් වර්‍ණවත් වූවෝ දුර්‍වණ වූවන් හෙළා දකිති ඔවුන් ගේ ඒ මානය හේතු කොටගෙන රස පොළොව අතුරුදහන් වේ. භුමිපප්පටක පහළ වේ. ඒ නයින් භේද අතුරුදහන් වේ. බදාලතා නම් ලතා විශේෂයක් පහළ වේ. එසේ මැ භේ ද අතුරුදහන් වේ. (ස්වයංපාක) දරින් නො පිසිය යුතු කුඩු නැති පිරිසිදු හැල් පහළ වේ. අනතුරු වැ බඳුන් පහළ වේ. ඔහු ඒ සහල් බඳුන් හි බහා ගල් මත තබති. ගිනි තමා ම නැගී එය පිසයි. දෑසමන් කැකුළු සේ සුදු වූ ඒ බතට සූප ව්‍යඤ්ජනයෙන් කම් නැති. රිසියෙන තාක් රස ඉන් ලැබේ. ඒ රළු ආහාර බුදිනා ඔවුනට මළ-මුත්‍ර‍ හට ගනී. අනතුරුව ඒවා නික්මෙන ද්වාර පහළ වේ. පිරිමිනට පුරුෂ භාවය ද, ස්ත්‍රීනට ස්ත්‍රී භාවය ද වේ. ඔවුනොවුන් බැලීමෙන් කාම තෘෂ්ණා හටගැනීමෙන් මෙවුන්දම් සෙව්ති. ඉක්බිති නුවණැත්තෝ ඔවුන් ගරහත්. ඒ සඳහා ආවරණ ස්ථාන කෙරෙත්. ගෙහි වසන්නාහු අලස බැව් කිහිප දිනකට යැපෙන සහල් රැස් කොට තබති. අනතුරු වැ කුඩු - පොතු හටගනී. පෙර සේ කපා ගත් තන්හි ශස්‍ය හට නො ගනී. රැස් වැ සුසුම් හෙලමින් මෙසේ සාකච්ඡා කෙරෙත්.

 

“පින්වත්නි! සත්ත්‍වයන් අතර පවිටු ගති පහළ වී අපි පෙර මනෝමය සෘද්ධි ඇත්තේ වූම්හ.” යනාදි ලෙසිනි. (විස්තර අග්ගඤ්ඤ සූත්‍රයෙන්[447] දන්නේයි.) අනතුරු වැ හැල් කෙත් බෙදා මායිම් තබති. එකල එකෙක් අනෙකා අයත් කොටසින් නො දී ගත්තෙක් දෙවරක් පරිභව බැණ තුන්වැනි වාරයෙහි අත්-පා-කැට-කැබලිත්තෙන් ගැසී. මෙසේ සොරකම්-අවමන්-බොරු-දඬු ගැනීම්-ආදීය උපන් පසු රැස් වැ ‘තර්‍ජනය කළ යුත්තන්ට තර්‍ජනය කළ හැකි, ගර්‍හා කළ යුත්තන්ට ගර්‍හා කළ හැකි, රටින් නෙරිය යුත්තන් නෙරිය හැකි, යම්කිසි සත්ත්‍වයකු සම්මත කෙරෙමුය’යි ද ඒ සඳහා ‘මේ හැල් කොටස දෙමු’යි ද, කතිකා කොට එකල ඔවුනතුරෙහි සියල්ලට වඩා මනා රූ ඇති, දැකුම්කළු මහේශාක්‍ය නුවණැති සංග්‍ර‍හ-නිග්‍ර‍හ කිරීමෙහි සහත් වැ සිටි බෝධි සත්ත්‍වයන් වෙත එළඹ යාඥා කොට එසේ සම්මත කළහ. එසේ මහජන සම්මත වූ හෙයින් හෙතෙමේ ‘මහාසම්මත’ නම් ද, ක්‍ෂේත්‍රාධිපති හෙයින් ‘ක්‍ෂත්‍රිය’ නම් ද, දැහැමෙන් සෙමෙන් ජනයා රඤ්ජනය කළ හෙයින් රජ නම් ද වී. මෙසේ නාම ත්‍ර‍යයෙකින් ප්‍ර‍කට විය. මෙසේ ක්‍ෂත්‍රිය මණ්ඩලය පිහිටි පසු, පිළිවෙළින් බ්‍රාහ්මණාදි වර්‍ණයෝ පිහිටියාහු ය.

 

මෙසේ කල්ප විනාශ මේඝයේ පටන් ජ්වාලොපචේඡදය දක්වා මේ සංව්ට්ට අසඞ්ඛෙය්‍ය යැ.

 

කල්ප විනාශක ජ්වාලොපචේඡදයේ සිට සම්පත්ති මහා මේඝය තෙක් සංවට්ටඨායී නම් දෙවෙනි අසඞ්ඛෙය්‍ය යැ. සම්පත්ති මහා මේඝයේ පටන් සඳ-හිරු පහළවීම් තෙක් විවට්ට නම් තුන් වැනි අසඞ්ඛෙය්‍ය යැ සඳ-හිරු පහළවීමේ සිට නැවත කල්ප විනාශක මහා මේඝය තෙක් විවට්ටඨායී නම් සිවු වැනි අසඞ්ඛෙය්‍ය යැ. මේ සතර අසඞ්ඛෙය්‍යය මහා කල්පයෙකි. මේ වූ කලි ගින්නෙන් නැසී හටගන්නා පරිදි ය.

 

ජලයෙන් කල්ප විනාශය වන අයුරු:- යම් කලෙක කල්ප ජලයෙන් විනාශ වේ නම් එකල පළමුව මැ කල්ප විනාශක මහා මේඝය වසී.

 

මේය වෙනස:- ගින්නෙන් නසනා කල දෙවෙනි හිර නගින්නා සේ මෙහි කල්ප විනාශක කාරම් ජල වැසි වසී. මුලදී සියුම් සියුම් වැසි වැස පසුව පිළිවෙළින් මහා වැසි ධාරාවෝ කෙළ ලක්‍ෂයක් සක්වළ පුරා වසිති. ඒ කාරම් දියවට පෘථිවි, පර්‍වතාදිය විලීන වෙයි. ජලය හාත්පසින් සුළඟ දරයි. පොළවේ සිට දුතියජ්ඣාන භූමිය තෙක් ජලය පිරෙයි. එහි තුන් තලය දිය වේ. සුභකිණ්ගක බඹලොව හැපී සිටී.

 

විශේෂ :- මේ වූ කලි උත්කෘෂ්ට පරිච්ඡේදයෙන් තතියජ්ඣානපරිත්ත තලය වූ පරිත්ත සුභයෙහි හැපී සිටී. යට ආභස්සරයෙහි හැපී සිටිති යි කී තැන ද පරිත්තාභයෙහි හැපී සිටිත හැකි ය. උත්කෘෂ්ට වශයෙන් මෙසේ කියන ලදී. මෙසේ ස්වල්ප වූ ද ද්‍ර‍ව්‍යයක් පවත්නා තාක් ජලය නො සිඳේ. සියල්ල දිය වූ පසු ජලය වියළී යයි. ඉක්බිත් මතු අජටාකාශය එකට හැපී ඝනාන්‍ධකාරයෙන් පිරී ගනී. සෙස්ස පෙර සේ මැයි.

 

මෙහි සුභකිණ්හක බ්‍ර‍හ්ම ලෝකයෙන් ද, චුත වැ ආභස්සර බඹලොව උපදිති. මෙසේ කල්ප විනාශක මේඝයේ සිට කාරම් ජලය සිඳෙන තාක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. එතැන් සිට සමපත්තිකර මහා මේඝය තෙක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. එතැන් සිට සම්පත්තිකර මහා මේඝය තෙක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. සෙස්ස පෙර සේ මැයි. මෙසේ ජලයෙන් විනාශය ද, හටගැනීම ද වේ.

 

වාතයෙන් කල්ප විනාශය වන පරිදි:- වාතයෙන් විනාශ වන කල ද ‘පළමුවෙන් කල්ප විනාශක මහා වැස්සෙක් වසී, යනාදි පෙර කී සේ විස්තර කළ යුතු.

 

විශේෂ:- පෙර දෙවෙනි සූර්‍ය්‍යයා පහළ වූ සේ මෙහිදී කල්ප විනාශය පිණිස වාතය හටගනී. එය පළමුවෙන් මහා ධූලි නංවයි. අනතුරු වැ සියුම් ධූලි ය, සියුම් වැලි ය, මහා වැලි ය, කැට ගල් ය ගල් ය, යනාදිය ද නඟයි. කුළු ගේ පා පර්‍වත ද, විසම තන්හි වූ මහා රුක් ද, උඩට නඟයි. ඒවා පොළොවෙන් උඩ නැංගාහු නැවත බිම නො වැටෙති. එහි මැ සුණු විසුණු වී අභාවයට යෙත්.

 

අනතුරු වැ පිළිවෙළින් යට මහා පොළවින් වාතය නැඟී පොළොව පෙරළා මුල් උඩට නඟා අහසෙහි බහයි. සියක් යොදුන් පමණ වූ ද, දෙ සියක් - තුන් සියක් - සාර පන් සියක් යොදුන් පමණ වූ ද, පොළෝ කොටස් සිඳ වාත වේගයෙන් අහසෙහි බහාලන ලද්දාහු එහි ම සුණු විසුණු වී වැනසෙති. සක්වළ පව්ව ද, මහමෙර පව්ව ද, වාතයෙන් ඔසවා අහසෙහි ලන ලදු වැ, ඒවා එකින් එක හැපී සුණු විසුණු වැ වැනසෙති. මෙසේ භූම්‍යස්ථ ආකාශස්ථ විමානයන් ද, විනාශ කෙරෙමින්, ෂට් කාමාවචර දිව්‍ය ලෝකයන් වනසා කෙළ ලක්‍ෂයක් සක්වළ ගල්, සක්වළ ගල් හා ද; හිමවත් පව්, හිමවත් පව් හා ද; මහාමේරු, මහාමේරු හා ද; (ඔවුනොවුන් එක් වැ) හැපී සුණු විසුණු වැ විනාශ වේ. පොළොව සිට තතියජ්ඣාන භූමිය තෙක් වාතයෙන් වැනසේ. එහි බඹ ලෝ තුන නසා වෙහප්ඵලයෙහි හැපී සිටී. මෙසේ සියලු දෙය නසා වාතය ද නැසේ. උඩ යට අජටාකාසය එක් වැ මහාන්‍ධකාර වේ. සේසස පෙර කී සේ මැයි

 

විශේෂ :- මෙහි දී සුභකිණ්හකයෙන් ද සැව බ්‍ර‍හ්මයෝ වෙහප්ඵලයෙහි උපදිති. කල්ප විනාශක මේඝයේ සිට, කල්ප විනාශය වාතය නැවතීම තෙක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. වාතය නැවතීමේ සිට සමපත්තිකර මේඝය තෙක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. මේ සතර අසඞ්ඛෙය්‍යයෙක් එක් මහා කල්පයෙකි. මේ වාතයෙන් ලොව නස්නා පරිදි හා පිහිටන පරිදි යි.

 

‘සත්ත්‍ව ලෝක මෙන් අවකාශ ලෝකය ද වැනැසීමේ හේතුවක් ඇත මැනවැ යි සලකා ලෝකය මෙසේ වැනසෙන්නේ කවර හෙයින් දැ යි, විචාරන්නවුනට, අකුසල මූල හේතුවෙන් යැ’යි පිළිතුරු දිය යුතු.

 

ඒ එසේ මැයි:- අකුසල මූලයන් උත්සන්න වූ කල මෙසේ ලොව වැනැසේ. හේ ද රාගය අධික වූ කල ගින්නෙන් ද, ද්වේෂය අධික වුව ගින්නෙන් ද නැසෙතැයි ද යෙති. මෝහය අධික වුව වාතයෙන් වැනැසේ.

 

මෙසේ වැනැසෙන්නේ ද පිළිවෙළින් සත් වරක් ගින්නෙන් නට කල ජලයෙන් අට වැනි වර වැනැසේ. නැවත ගින්නෙන් සත් වරකැ යි මෙසේ ජලයෙන් අට වැනි - අට වැනි වරයැ යි (ගින්නෙන් ස පණස් වරෙක, ජලයෙන් සත් වරෙකැ යි) තෙ සැට වරක් පිරුණු පසු, සැට සතර වැනි වාරය වාතයෙන් වැනැසේ. පෙර කී සේ පූර්‍වෙනිවාසය සිහි කරන්නා වූ ද කල්පයන් සිහි කරන භික්‍ෂුව මෙසේ නොයෙක් සංවට්ට කල්ප ද, විවට්ට කල්ප ද, සංවට්ට-විවට්ට කල්ප ද සිහි කරයි.

 

ඒ මෙසේ යි:- ‘අසුවල් සංවට්ට කල්පයෙහි මම අසුවල් භවයෙකි, අසුවල් යෝනියෙහි හෝ, ගතියෙහි හෝ විඥාන ස්ථිතියෙහි හෝ, සත්ත්‍වාවාසයෙහි හෝ, සත්ත්‍ව නිකායයෙහි හෝ උපන්මි, මෙ නම් ඇත්තෙම් වීමි. මෙ නම් ගෝත්‍ර‍ ඇත්තෙම් වීමි. නාම ගෝත්‍රාදිය මෙන් මැ, වර්‍ණ සම්පත් - රූක්‍ස - ප්‍ර‍ණීත - ජීවිකාව හෝ සැප දුක් බහුල බව හෝ, අල්පායුෂ්ක - දීර්‍ඝායුෂ්ක බව හෝ සිහිකරනු කැමැත්තේ එය ද සිහි කරයි. ‘ඒ මම එයින් චුත වැ නැවත නැවත අසුවල් අසුවල් තැන උපන්මි’යි කියා ය.

 

මෙ මැ කීහ “එවං නාමෙ එවං ගොත්තො එවං වණ්ණො එවමාහාරො එවං සුඛ දුක්ඛ පටිසංවෙදි - සො - තතොවුතො ඉධූපපන්තොති”[448]

 

මෙසේ එකිනෙක භවයෙන් භවය වර්‍ණාදි ආකාර වශයෙන් ද, නාම-ගෝත්‍රාදි උද්දේශ වශයෙන් නානාවිධ වූ පූර්‍වෙනිවාසය සිහි කෙරේ.

 

පූර්‍වෙනිවාසානුස්මෘතිඥාන කථාව සමාප්තයි.

 

චුතුපාපත ඤාණය (4)

 

සත්ත්‍වයින් ගේ චුති උත්පත්ති දනගන්නා ඤාණය දිව්‍ය චක්‍ෂුරභිඥානය යි. එය ඉපදවීම පිණිස පරිකර්‍ම ධ්‍යාන සිත අභිමුඛ කෙරේ. “සො දිබ්බෙන චක්ඛුනා” යනාදීන් එය විස්තර කෙරෙති.

 

සො = ඒ පරිකර්‍ම ධ්‍යාන සිත එළ වූ යෝගාවචර භික්‍ෂුතෙමේ.

 

දිබ්බේන = දෙවියන්ට කුශල කර්‍මානුභාවයෙන් නිපන් පිත්ත සෙම්හාදි පළිබෝධ රහිත උපක්ලේශයෙන් විනිර්මුක්ත හෙයින් දුරෙහි වූ රූපාලම්බනය පිළිගැනීමට සමර්‍ථ වූ දිව්‍යමය ප්‍ර‍සාද චක්‍ෂුෂ වන්නා සේ, මේ වීර්‍ය්‍ය භාවනා බලයෙන් නිපන් ප්‍ර‍ඥා චක්‍ෂුෂ ද, ඒ දිව්‍ය චක්‍ෂුස මෙන් බැහැර වූ ද රූපාලම්බනය දැකීමෙහි සමර්‍ථ හෙයින් දිව්‍ය විහාර වශයෙන් ලබන ලද හෙයින් හේ දිව්‍ය විහාරය යි, කියන ලද චතුර්‍ථ ධ්‍යානයෙන් ලබන ලද හෙයින් හෝ, කසිණාලෝකානුග්‍ර‍හයෙන් පැමිණිය යුතු බැවින් හෝ, පාදක ධ්‍යාන සඞ්ඛ්‍යාත දිව්‍ය විහාරය නිශ්‍ර‍ය කොට හටගත් බැවින් හෝ, දිව්‍ය විහාරයෙහි ඇතුළත් බැවින් හෝ දිව්‍ය නම් වේ. ආලෝක කසිණ භාවනාවෙන් පැමිණිය යුතු බැවින් තමා ගේ ඤාණාලෝකය පැතිරෙන බැවින් ද දිව්‍ය නම, භිත්ති ආදීන් පිටත වූ රූප බැලීමෙන් මහත් ගති ඇති බැවින් ද දිව්‍ය නමි.

 

මෙහි ශබ්ද ශාස්ත්‍ර‍ඥයෝ ‘දිවු ධාතුව විහාර - විජයෙච්ඡා-ව්‍යවහාර - පුති-ගති අර්‍ථයන්හි යෙදීම් වශයෙන් මෙම අභිඥාඥානයා ගේ දිව්‍ය චක්‍ෂුර්‍භාවය සිද්ධ කළහ. පෙර කී විස්තරයෙන් ඒ වැටහෙයි.)

 

චක්ඛුනා = රූප දැකීම් සාමර්‍ථ්‍යයෙන් ද, (එහෙත් මාංස චක්‍ෂුස මෙන් විඥානාධිස්ථිත වැ දක්නේ නොවේ.) මේ වූ කලි තෙමේ ම දර්‍ශන කෘත්‍යය කෙරෙන හෙයින් ද, ඇසක් වැනිනු යි චක්ඛු නමි.

 

විසුද්ධේන = චුති - උත්පත්ති දැකීම් වශයෙන් දිට්ඨි විසුද්ධියට හේතු බැවින් විසුද්ධ වූ.

 

විස්තර :- යමෙක් චුතිය පමණක් දක්නේ නම් හෙතෙම උච්ඡේද දිට්ඨියට වැටේ. යමෙක් චුතිය නො දැක උත්පත්ති මාත්‍ර‍ය දකී නම් හෙතෙම ‘නව සත්ත්‍ව ප්‍රාදුර්‍ශාවය වේය’යි දෘෂ්ටි ගනී. යමෙක් ‘මේ දෙක මැ දක්නේ නම් හෙතෙමේ ඒ උභය දෘෂ්ටීන්ම විනිර්මුක්ත වේ. ඔහුගේ ඒ දැක්ම දෘෂ්ටි විශුද්ධියට හේතු වේ. බුද්ධ පුත්‍රයෝ මේ දෙක මැ දකිති. එහෙයින් චුති උත්පත්ති දැකීමෙන් දිට්ඨි විශුද්ධි හේතුත්‍වයෙන් විසුද්ධි වේ යයි කීහ.

 

අතික්කන්තමානුසකෙන = මනුෂ්‍ය උපචාරය ඉක්ම රූප දක්නා සුළු නොහොත් මිනිසුන්ගේ මසැස පිළිබඳ දර්‍ශනෝපචාරය ඉක්ම සිටී. (මිනිස් ඇසින් නො දැක්ක හැකි සුඛුම රූපාදිය දක්නා හෙයිනි.)

 

චවමානෙ උප්පජ්ජමානෙ = (විශුද්ධි වූ මිනිස් ඇස පිළිබඳ විෂය ඉක්ම සිටීි දිව්‍යචක්‍ෂුර්ඥානයෙන්) චුතවන්නා වූ ද, උපදින්නා වූ ද,

 

සත්තෙ පස්සති = සත්ත්‍වයන් දකී

 

විශේෂ :- රූපයක් පිළිබඳ ස්ථිති වස්ථාව ආලම්බන ප්‍ර‍ත්‍යය වන හෙයින් ද, රූපයා ගේ චුති උත්පත්ති ක්‍ෂණයන් සියුම් බැවින් ද, ‘දිබ්බ චක්ඛු’ ඤාණයට අරමුණු නො වේ. චුතියට ආසන්න වූ ද, එකෙණෙහි උපන්නා වූ ද, සත්ත්‍වයෝ මෙයින් අදහස් කරන ලදහ.

 

හිනෙ = (මොහසම්ප්‍ර‍යුක්ත කර්‍මයෙන් නිපන් හෙයින්) ජාති - කුල - භොගාදීන් ගේ වශයෙන් නිහින වූ (ගර්‍හා කරන ලද, ලාතම කොට දක්නා ලද.)

 

පර්‍ණතෙ = (අමෝහ සම්ප්‍ර‍යුක්ත කර්‍මයෙන් නිපන් සහේතුක ප්‍ර‍තිසන්‍ධික හෙයින්) ප්‍ර‍ණීත වූ.

 

සුවණ්ණො = (අද්වේෂ සම්ප්‍ර‍යුක්ත කර්‍මයෙන් නිපන් හෙයින්) ඉෂ්ටවර්‍ණාදීන් යුතු වූ.

 

දුබ්බණ්ණෙ = (ද්වේෂ සම්ප්‍ර‍යුක්ත කර්‍මයෙන් නිපන් හෙයින්) අනිෂ්ට අකාන්ත අමනාප විරූප බැවින් යුතු වූ රූප ඇති.

 

සුගතෙ = සුගති ඇති. (අලෝභ සම්ප්‍ර‍යුක්ත කර්‍මයෙන් නිපන් හෙයින්) දිළිදු ස්වල්ප ආහාර පාන ඇති.

 

දුග්ගතෙ = දුගති ඇති. (ලෝභ සම්ප්‍ර‍යුක්ත අකුශල කර්‍මයෙන් නිපන් හෙයින්) දිළිදු වූ ස්වල්ප ආහාර පාන ඇති.

 

යථාකම්මූපගෙ = (තමා විසින් උපචිත පෙර කී සේ) කර්‍මානුරූප වැ නිපන්.

 

විශේෂ: පෙර කී “දිබ්බෙන චක්ඛුනා” යනාදි පදයන්ගෙන් දිබ්බ චක්ඛුඤාණ කෘත්‍යය කියන ලදී. මේ “යථා කම්මූපගෙ” යන පදයෙන් යථා කම්මූපග ඤාණ කෘත්‍යය කියන ලදී.

 

විස්තර:- ඒ ඤාණය උපදවනුයේ මෙසේ යි:- ඒ දිව්‍යචක්‍ෂුර් ඥානලාභී භික්‍ෂු තෙමේ නිරයාභිමුඛ කොට ධ්‍යානාලෝකය පතුරුවා නෙරයිකසත්ත්‍වයන් දිව්‍යඥානයෙන් ප්‍ර‍ත්‍යක්‍ෂ සේ දැක, ඒ සත්ත්‍වයන් ගේ නිරයෙහි උපන් කර්‍මය බැලීමට - දැනීමට කැමැත්තේ පාදක ධ්‍යානයට සමවැද ඉන් නැඟී ‘මේ සත්ත්‍වයා කවර නම් කර්‍මයක් කොට නිරයෙහි ඉපිද මේසා දුක් අනුභව කෙරේදැ’යි මෙනෙහි කරයි. අනතුරු වැ ‘මේ නම් කර්‍මයකැ’ යි කර්‍මාලම්බනික ඥානය උපදී.

 

එසේ මැ උඩ දිව්‍යලෝකාභිමුඛ කොට ආලෝකය පතුරුවා නන්‍ද වන, මිශ්‍ර‍ක වන, ඵාරුසක වනාදීව්හි මහා සම්පත් අනුභව කරන සතුන් දකී. හෙද දිබ්බ චක්ඛු ඤාණ කෘත්‍යය මැයි. ‘මේ සත්ත්‍වයන් කිනම් කර්‍මයක් කොට මෙහි උපන්නවුන් මහත් සම්පත් අනුභව කෙරෙත්දැ’යි බලන්නාහට ‘මේනම් කර්‍මයකැ’යි කර්‍මාලම්බණික වැ ඥානය උපදී. මෙද යථාකම්මූපගඤාණය මැයි. මෙයට වෙන මැ පරිකර්‍ම නැති. එසේ මැ අනාගතංශ ඥානයට ද වෙන මැ පරිකර්‍ම නැත්.

 

විශේෂ:- මේ යථාකම්මූපගඤාණය හා අනාගතංස ඤාණය ද, දිබ්බචක්ඛු ඤාණය පාදක කොට ඇත්තහුට දිබ්බචක්ඛු ඤාණයෙන් මැ සමෘද්ධ වේ. යම් සත්ත්‍වයකු දැක නිපදවන ලද කර්‍මයකින් මතු උපදනා අත්බව බලනු කැමැති දිව්‍යඥාන ලාභී භික්‍ෂුව ඒ යථාකම්මූපගඤාණය මැ පාදක කොට අනාගතංශ ඥානය උපදවයි. මේ ඥාන ද්වය මැ ‘දිබ්බචක්ඛු ඤාණය’ ඇති කල්හි මැ ලැබෙයි. නැති කල නො ලැබේ.

 

කාය දුච්චරිතෙන = කයින් කරන ලද දුෂ්ට චරිතයෙන් හෝ කයින් උපන් ක්ලේශයෙන් දූෂණය වූ චරිතයෙන්.

 

විශේෂ :- මේ කාය ද්වාරය මෙහෙයා කාය විඤ්ඤත්ති වශයෙන් පැවැත්තාවූ අකුශල කාය කර්‍මය යැ. (වචී දුච්චරිතාදිය මෙසේ මැයි)

 

සමන්නාගතා = යම් සන්තානයෙකැ කරන ලදින් නො නැසී පැවැති (එහෙයින් මැ විපාක දීමට යෝග්‍ය බව පහවැ නො යාම හේතු කොට ‘සමන්නාගත’ නම් වේ.

 

අරියානං උපවාදකා = බුදු-පසේබුදු-බුදු සව්-ආර්‍ය්‍ය යනට (යටත් පිරිසෙයින් සෝවාන් ගිහියකුට පවා) අනර්‍ථ කාමීව පරිජීවතින් හෝ ඣානාදී ගුණ නැසීමෙන් හෝ උපවාද කරන්නාහු. ආක්‍රොශ ගර්‍හා කරන්නාහු.

 

‘නත්‍ථි එතෙසං සමණ ධම්මො අස්සමණා එතෙ”[449] යි මොවුන්ට මහණකම නැති මොහු අශ්‍ර‍මණයෝයි, සීලයෙන් උපවාද බෙණෙනුයේ අන්තිම වස්තුවෙන් උපවාද බෙණේ.

 

‘නත්‍ථි එතෙසං ඣානංවා විමොක්ඛොවා මග්ගොවා ඵලංවා”1 යි මොවුන්ට ධ්‍යානයෙක් හෝ විමෝක්‍ෂයෙක් හෝ මාර්‍ගයෙක් හෝ, ඵලයෙක් හෝ නැතැයි’ උපවාද කරන්නේ ගුණ නැසීමෙන් උපවාද කරන්නේ වෙයි.

 

විශේෂ :- ඔහු දැන හෝ, නො දැන හෝ උපවාද කළ කල ආර්යොපවාද කර්‍මය වේ. මෙය ආනන්තර්‍ය්‍ය සමාන වූ ස්වර්‍ගාවරණ වූ ද, මාර්‍ගාවරණ වූ ද, කර්‍මයෙකි. එහෙත් හේ සතෙකිච්ඡ ය. එයට මේ කථාවෙකි.

 

එක් ගමෙක එක් තෙර නමක් හා නවක නමක් පිඬු සිඟයි. ඔහු පළමු ගෙහි මැ උණු කැඳිත්තක් ලැබූහ. තෙරුන් ගේ බඩ රිදෙයි. මේ උණු කැඳිත්ත උණුවෙන් මැ බීවොත් ‘සප්පාය වේය’යි සිතා උළු අස්සක් පිණිස මිනිසුන් ගෙනවුත් දමා තුබූ කොටයක් මත හිඳ තෙරුන් වහන්සේ එය වැළඳූහ. ‘මේ ඉතා බඩසයින් පෙළුණු මහල්ලා අපට ලජ්ජා විය යුත්තක් කෙළේ ය’යි නවක භික්‍ෂුව කී. තෙරුන් වහන්සේ ගම පිඬු සැරැ විහාරයට ගොස් ඇවැත්නි! තට මේ සසුනෙහි පිහිටක් ඇද්දැ යි විචාළහ. එසේය සෝවාන්මි’යි කී. ‘එසේ නම් මතු මාර්‍ගයන් පිණිස උත්සාහ නො කරව. තා රහත් නමකට උපවාද කළහ’යි වදාළහ. හෙතෙමේ උන්වහන්සේ ක්‍ෂමා කරවී. එහෙයින් ඒ කර්‍මය බැහැර විය.

 

මෙසේ අන්‍යයෙක් හෝ ආර්යෝපවාද කළේ නම් ඔහු ගොස් තමා වැඩි මහලු නම් උක්කුටුකයෙන් හිඳ ‘මම ආයුෂ්මතුන්ට මේ මේ දෙය කීවෙමි’ ඒ මට ක්‍ෂමා කෙරේවා’යි ද, තමා නවක නම් වැඳ උක්කුටුකයෙන් හිඳ ඇඳිළි බැඳ ‘ස්වාමීනි! මම ඔබට මේ මේ දෙය කීවෙමි. ඒ මට ක්‍ෂමා කරනු මැනැවැ’යි ක්‍ෂමා කරවිය යුතු. අන් දිසාවක ගියේ නම් තමා ගොස් හෝ, සද්ධි විහාරිකයකු යවා හෝ ක්‍ෂමා කරවිය යුතු. යන්නට හෝ යැවීමට නො හැකි නම් ඒ විහාරයෙහි වැඩ සිටින නවක හෝ වැඩිමහලු වූ හෝ භික්‍ෂුව වෙත එළඹ පෙර කී සේ මම අසුවල් ආයුෂ්මතුන්ට හෝ ස්ථවිරයන් වහන්සේට මෙනම් දෑ කීවෙමි. ඒ ආයුෂ්මත් හෝ, ස්ථවිරයන් වහන්සේ මට ක්‍ෂමා කෙරෙත්වා’යි ක්‍ෂමා කරවිය යුතු. සම්මුඛයෙහි ක්‍ෂමා කළ නො හැකි නම් මෙසේ කළ යුතු. ඒ භික්‍ෂුව ආගිය අතක් නො දත හැක්කේ නම් (වසන තැනක් හෝ ආ ගිය තැනක් හෝ නො දනී නම්) එක් උගත් භික්‍ෂුවක් වෙත ගොස් ‘ස්වාමීනි! මම අසුවල් ආයුෂ්මතුන්ට මෙනම් මෙනම් දැයක් කීවෙමි. එය සිහිවත් මැ විපිළිසර උපද. එයට කුම් කෙරෙම්දැ යි විචාළ කල ඔබ නො බව මැනව. තෙරුන් ඔබට ක්‍ෂමා කරනු ඇත. සිත සනසව, කියා නම් ඔහු විසිනුදු ගිය දිසාවට වැඳ ‘ක්‍ෂමා කෙරෙත්වා’යි කිය යුතු.

 

හේ පිරිනිවියේ නම් පිරිනිවි ඇඳ තුබූ තැනට හෝ සොහොන වෙත ගොස් හෝ ක්‍ෂමා කරවිය යුතු. මෙසේ කළ කල ස්වර්‍ගාවරණ හෝ මාර්‍ගාවරණ නො වේ. කර්‍මය සංසිඳේ.

 

මිච්ඡාදිට්ඨිකා = තුමූ විපරීත දෘෂ්ටික වූවෝ.

 

මිච්ඡාදිට්ඨිකම්මසමාදානා = (විපරීත දෘෂ්ටි වශයෙන් සමාදන් වූ නානා විධ කර්‍ම ඇත්තෝ) මිත්‍යාදෘෂ්ටික වූ කාය කර්‍මාදීන්හි අන්‍යයන් ද සමාදන් කරවන්නාහු ද.

 

විශේෂ:- මේ ආර්යොපවාදය වාග් දුශ්චරිත ග්‍ර‍හණයෙහි ද, මිථ්‍යා දෘෂ්ටිය මනෝ දුශ්චරිත ග්‍ර‍හණයෙහි ද, සංගෘහීත වූව ද, නැවත කීම මහා සාවද්‍ය බව දැක්වීම පිණිස ය.

 

ආර්යොපවාදය පඤ්චානන්තර්‍ය්‍යය මෙන් මහා සාවද්‍ය ය. එයින් වදාළහ.

 

“සෙය්‍යථාපි සාරිපුත්ත භික්ඛු සීල සම්පන්නො සමාධි සම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙවධම්මෙ අඤ්ඤං ආරාධෙය්‍ය. එවං සමපදමිදං සාරිපුත්ත වදාමි. තං වාචා අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජිත්‍වා යථාහතං නික්ඛිත්තො එවං නීරයෙ”[450]

 

‘ශාරිපුත්‍ර‍ය! (මුහුකුරා ගිය ශ්‍ර‍ද්ධාදි ඉන්‍ද්‍රිය ඇති) සම්පූර්‍ණ සිල් ඇති, සම්පූර්‍ණ සමාධි ඇති, සම්පූර්‍ණ මාර්‍ග ඥාන ඇති භික්‍ෂුව අර්‍හත් ඵලයට පැමිණෙන්නා සේ (ඒ ආර්යොපවාදක තෙමේ) ඒ වචනය ද, ඒ චිත්තයට ද, (මිථ්‍යා දෘෂ්ටිකයා) ඒ දෘෂ්ටිය ද බැහැර නො කොට ගෙනවුත් බහාලන ලද්දකු මෙන් නරකයෙහි උපදී.

 

තවද මිථ්‍යාදෘෂ්ටියට වඩා මහා සාවද්‍ය වූ අනිකක් නැත්තේ ය. එයින් වදාළහ.

 

“නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහා සාවජ්ජතරං යථඉදං භික්ඛවෙ මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි පරමාති භික්ඛවෙ වජ්ජාති”[451]

 

“මහණෙනි! මිථ්‍යාදෘෂ්ටිය යම් පමණ මහා සාවද්‍ය ද එබඳු වූ අන්‍ය එක මැ ධර්‍මයකුදු නො දකිමි. මහණෙනි! අවද්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිය පරම කොට ඇත්තාහ.

 

කායස්සභෙදා = උපාදානස්කන්ධ භේදයෙන්

 

පරම්මරණා = (මරණින් මතු උපන් ස්කන්ධ ලාභයෙන් හෝ ජීවිතින්‍ද්‍රියයා ගේ උපච්ඡේදයෙන්) චුති සිතින් මත්තෙහි.

 

අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පන්තා = (මේ සියල්ල නිරය පර්‍ය්‍යාය වචන ය) අය සඞ්ඛ්‍යාත සැපයෙන් පහ වූ දුකට ගති වූ, විවස වැ පතිත වන්නා වූ; (ආසවාද නම්වූ අය නැති හෙයින් නොහොත් ස්වර්‍ග-මොක්‍ෂයට හේතු වූ ප්‍ර‍ත්‍යය සම්මත අය යෙන් පහ වූ බැවින් නොහොත් සැපයන් ගේ හට ගැනීමක් නැති හෙයින්) නිරය නම් වූ, දෝස බහුලත්‍වයෙන් දුෂ්ට වූ කර්‍මයෙන් උපන් ගති ඇති හෙයින් දුග්ගති නම් වූ. මෙහි බිඳෙන අඞ්ග ප්‍ර‍ත්‍යඞ්ග ඇතිවැ විනාශ වෙමින් වැටෙත්නුයි’ විනිපාත නම් වූ නිරයෙහි උපන්නාහු ය.)

 

විශේෂ :- මෙහි අපාය ගැනීමෙන් තිරිසන් යෝනිය ගැනේ. එය සුගතියෙන් වෙන් වූ හෙයින් අපාය ය. (මහේශාක්‍ය නාගරාජාදීන් ගේ උත්පත්තිය ඇති හෙයින් දුග්ගති නො වේ) දුග්ගති ග්‍ර‍හණයෙන් ප්‍රේත ලෝකය ගැනේ. එය සුගතියෙන් පහවූ හෙයින් ද, දුකට ගති වූ හෙයින් ද, අපාය දුග්ගති ද වේ. විනිපාත ග්‍ර‍හණයෙන් අසුරකාය ය ගැනේ. එය එකී අර්‍ථයෙන් අපාය ද දුග්ගතිය ද සියලු සම්පත්තීන් පහ වූ හෙයින් විනිපාත ද වේ. නීරස ග්‍ර‍හණයෙන් අවීචිය තෙක් සියලු අපාය ගැනේ. (මෙයට ප්‍ර‍තිපක්‍ෂ වශයෙන් සොභන පක්‍ෂය දත යුතුයි)

 

සුගතිං සග්ගං ලොකං උප්පන්තා = සැපයට ගති වූ සුවයෙන් අග්‍ර‍ වූ ලෝකයෙහි උපන්නාහු ය.

 

විශේෂ :- මෙහි සුගති ග්‍ර‍හණයෙන් මනුෂ්‍යයෝ ද, සග්ග ග්‍ර‍හණයෙන් දෙවියෝ ද ගැනෙති. සුන්දර ගති ඇති හෙයින් සුගති ද, රූපාදීන් මනාව අග්‍ර හෙයින් ස්වර්‍ග ද වේ. මේ සියල්ල ලුජ්ජන පලුජ්ජන අර්‍ථයෙන් ලෝක නම.

 

විස්තර :- මෙසේ දිවැසින් බලනු කැමැති ආදිකර්මික කුල පුත්‍ර‍යා අට කසිණයන් අතුරින් යම් කිසි කසිණයක් අරමුණු කොට අභිඥාපාදක ධ්‍යානය උපදවා යට කී සේ (තුදුස් ආකාරයෙන් සිත දමනය කොට අඞ්ග අටකින් සම්පූර්‍ණ කිරීමෙන් භූමි-පාද-පද-මූල සම්පාදනය කිරීම් වශයෙන්) සර්‍වප්‍ර‍කාරයෙන් දිව නුවණට සිත මෙහෙයීමට සුදුසු කොට තේජෝ කසිණ - ඔදාත කසිණ - ආලෝක කසිණ යන තුනින් එකක් දිව්‍යචක්‍ෂුරභි ඥානයට ආසන්න කළ යුතු.

 

එකී කසිණයෙක්හි උපචාර ධ්‍යානය පුහුණු කොට අරමුණ ද වැඩිය යුතු. එහෙත් එසේ වැඩූ කසිණාලම්බනයෙහි ධ්‍යාන වශයෙන් අර්පණා නො ඉපදවිය යුතු.

 

කවර හෙයින් ද යත් :- පරිකර්‍ම නො කළහුට අභිඥා වශයෙන් අර්පණා නූපදනේ ය. අර්පණා උපදවන්නේ නම් පාදක ධ්‍යාන හෝ අරමුණු වන්නේ ය. ඒ කසිණාලම්බනය පරිකර්‍මයට නිශ්‍ර‍ය නො වන්නේ ය. නිශ්‍ර‍ය නො වන කල රූප දර්‍ශනය නොවේ.

 

මේ තුන් කසිණයන් අතුරින් ආලෝක කසිණය ශ්‍රේෂ්ඨතරය. එහෙයින් එය හෝ, අනෙක් දෙකින් එකක් හෝ යට කසිණ නිර්‍දෙශයෙහි කී පරිදි උපචාර ධ්‍යාන වශයෙන් උපදවා (උපචාර ධ්‍යානය සමග ප්‍ර‍තිභාග නිමිත්ත උපදනා හෙයිනි.) ඒ උපචාර භූමියෙහි මැ සිට ප්‍ර‍තිභාග නිමිත්ත වැඩිය යුතු. (විස්තර යට කසිණ නිර්‍දෙශයෙහි[452] කී සෙයින් දත යුතු.)

 

කසිණ ප්‍ර‍තිභාග නිමිත්ත වඩන ලද ප්‍රදේශයෙහි වූ රූපාලම්බනය මැ දැක්ක යුතු ය. ඉන් පිටත වූ රූපාලම්බන නොදැක්ක යුතු. එසේ පිටත වූ රූපාලම්බනය දක්නහු ගේ පරිකර්‍ම වාරය ඉක්මෙන හෙයිනි. එසේ (පරිකර්‍ම වාරය) ඉක්මීමෙන් කසිණාලෝකය අතුරුදහන් වේ. ඒ (ආලෝකය) අතුරුදහන් වූ කල්හි රූපාලම්බනය ද නො පැනෙයි. අනතුරු වැ ඒ ධ්‍යානලාභීහු විසින් නැවත නැවත පාදක ධ්‍යානයට සමවැද එයින් නැගී ආලෝකය පැතිර වියයුතු. මෙසේ අනුක්‍ර‍මයෙන් කසිණාලෝකය ශක්තිමත් වේ. එකල්හි යම් පමණ ප්‍රදේශයක ‘කසිණාලෝකය පැතිරේවා’යි (යම් පමණ ප්‍රදේශයක්) පිරිසිඳින ලද්දේ නම් ඒ ප්‍රදේශයෙහි කසිණාලෝකය සිටිනේ මැ ය. දවසක් මුළුල්ලෙහි වුව ද එහි මැ හිඳ බලන්නහුට රූපාලම්බනය දැක්ම වන්නෙ ්ය.

 

නිදර්‍ශන :- මෙයට රෑ ගිනි සුළක් ගෙන මගට පිළිපන් මිනිසෙක් නිදර්‍ශන වේ. ‘එක් මිනිසෙක් ගිනි සුළක් ගෙන රෑ මගට පිළිපන්නේ ය. ඒ ගිනි සුළ නිවුණු කල්හි මාර්‍ගයෙහි සම විසම තැන් නො පැනේ. ඔහු ඒ ගිනි සුළ බිම ගසා නවැත ද දල්වා පෙරට ද වඩා එළිය වූයෙන් නැවත ද යන්නේ එය නැවත නැවත නිවි කල නැවත නැවත ද දල්වද්දී සූර්‍ශ්‍යයා උදාවූයෙන් එයින් කර්‍ම නැති හෙයින් එය හැර දමා දවස මැ ගියේ ය.

 

සංසන්‍දනය :- පරිකර්‍ම කළ කල කසිණාලෝකය ගිනි හුළු එළිය මෙන් ද, රූප දක්නා කල පරිකර්‍ම ධ්‍යාන වාරය ඉක්මීමෙන් කසිණාලෝකය අතුරුදහන් වීමෙන් රූප නො දැකීම ගිනිසුළ නිවීමෙන් සම-විසම නො දැකීම මෙන් ද නැවත නැවත පාදක ධ්‍යානයට සමවැදීම ගිනිසුළ බිම ගැසීම මෙන් ද, නැවත පිරියම් කරන කල පෙරට ද වඩා කසිණාලෝකය පැතිරීම ගිනිසුළ පෙරට වඩා ආලෝක වීම මෙන් ද පිරිසිඳ පමණ තන්හි කසිණාලොකය දැඩිවැ පැතිරී සිටීම සූර්‍ය්‍යයා ගේ උදාවීම මෙන් ද, ඒ දැඩි වූ ආලෝකයෙන් දවසකුදු රූප දැකීම, ගිනිසුළ හැරපියා සූර්‍ය්‍යාලෝකයෙන් දහවල් කාලයෙහි යාම මෙන් ද දත යුතු.

 

ඒ යෝගාවචරයා ගේ මැ ඇසට හමු නො වූ කුස තුළ වූ රූපය ද, හෘදය වස්තු ඇසුරු කොට පවත්නා රූපය ද, පොළොව යට භාගයෙහි වූ ද, භිත්ති පවුරු ආදියෙන් මුවා වූ ද, සක්වළින් බැහැර වූ ද, මෙකී රූපයන් යම් කලෙක නුවණැසට හමුවේ ද, මසැසින් දක්නාක් මෙන් ප්‍ර‍කට වැ දක්නේ වේ ද, එකල දිවැස උපන්නේය යි දත යුතු.

 

මේ රූපයන් අරමුණු කොට පවත්නා සිත් අතුරින් ඒ දිව්‍යචක්‍ෂුරභිඥානය මැ චක්‍ෂුර් විඥානය ප්‍ර‍කෘති රූපය මනා කොට දක්නා මෙන් රූපාලම්බනය දැකීමට සමර්‍ථ වේ. එයට පූර්‍ව භාගයෙහි පැවැති පරිකර්‍ම සිත් රූපාලම්බනය ප්‍ර‍කට කොට බැලීමට සමර්‍ථ නො වේ. චක්‍ෂුර්විඥාන සිතට පූර්‍වයෙහි පවත්නා පඤ්චද්‍වාරාවජ්ජන සිත හා පසු වැ උපදනා සමපටිච්ඡන සන්තිරණ සිත් මෙනි.

 

විශේෂ:- එකී සිත් රූපාලම්බනය අරමුණු කොට පැවැත්තේ නමුදු එය තතු සේ දැකීම සමර්‍ථ නො වේ.

 

(තවද ඒ දිව්‍යචක්‍ෂුරභිඥානය පෘථග්ජනයා අන්තායක වේ. හෙතෙමේ යම් යම් තැන් ‘ආලෝක වේවා’යි අධිෂ්ඨාන කෙළේ නම් ඒ ඒ පෘථිවි-සමුද්‍ර‍-පර්‍වතාදිය විනිවිද එකාලෝක වේ. එකල යක්‍ෂ-රාක්‍ෂසාදි රූප දර්‍ශනයෙන්න භය ඉපිද චිත්ත වික්‍ෂේපයට පැමිණ ධ්‍යානයෙන් පිරිහී උමතු බවට ද පැමිණිය හැකි හෙයිනි. එහෙයින් ‘මා විසින් දිවැස් ලබන ලදැ’යි තෘප්තියට නො පැමිණ විදර්‍ශනා වඩා සත්‍යප්‍ර‍තිවෙධ කිරීමෙහි උත්සාහවත් විය යුතු.)

 

දිව්‍යචක්‍ෂුභිඥානය උපදින්නේ මෙසේයි:- ‘යට කී පරිදි එකී රූපාලම්බනය අරමුණු කොට මනොද්‍වාරාවජ්ජන සිත ඉපිද නිරුද්ධ වූ කල, එය මැ අරමුණු කොට ජවන් සතරක්- පහක් උපදී’ යනාදි සියල්ල පෙර කී සේ ය. මෙහිදු පූර්‍වයෙහි කී ආවර්‍ජන චිත්තයෝ සවිතර්‍ක - සවිචාරයට, කාමාවචරයහ. අවසානයෙහි වූ රූපාලම්බනය දැකීම සිද්ධ කරන චිත්තය රූපාවචර චතුර්‍ථධ්‍යානික යැ. ඒ හා එක්වැ යෙදුණාවූ ඥානය චුතුපපාතඥානයයි ද, දිව්‍යචක්‍ෂුරභිඥානයයි ද, කියනු ලැබේ.

 

මෙතෙකින් චුතුපපාත ඤාණ කථාව නිමි.

 

පඤ්චාභිඥාවන් ගේ ප්‍ර‍කීර්‍ණක කථාව

 

මේ පඤ්චාභිඥාවන් අතුරින් චුතූපපාතඤාණ නමින් කී දිව්‍යචක්‍ෂුරභිඥානයට, අනාගතංසඤාණය ද, යථාකම්මුපග ඤාණය ද පිරිවර ව්. මේ ඤාණ දෙක හා ඉද්ධිවිධාදී අභිඥා පස දැයි සප්ත අභිඥා ඥාන කෙනෙක් මෙහි දක්වන ලදහ. ඔවුනගේ ආලම්බන විභාගයහි නුමුළාවීම පිණිස, සතර වැදෑරුම් ආලම්බන ත්‍රිකයෝ වදාළහු ද, දැන් ඒ ආලම්බනයන් කෙරෙහි සත්වැදෑරුම් අභිඥාවන් ගේ පැවැත්ම දැක්විය යුතු.

 

ආලම්බනත්‍රික සතර මෙසේ යි.

1.  පරිත්තාරම්මන ත්‍රිකය

2.  මග්ගාරම්මණ ත්‍රිකය

3.  අතීතාරම්මණ ත්‍රිකය

4.  අජ්ඣත්තාරම්මණ ත්‍රිකය යන මොහුයි

 

සප්තාභිඥාවන් අතුරින්

1 ඉද්‍ධිවිධ ඤාණය

(1) පරිත්තාලම්බනය

(2) මභග්ගතාලම්බනය

(3) අතීතාලම්බනය

(4) අනාගතාලම්බනය

(5) පච්චුප්පන්නාලම්බනය

(6) අජ්ඣත්තාලම්බනය

(7) බහිද්ධාලම්බනය යි සප්තාලම්බනයකැ පවතී.

 

ඒ මෙසේයි.

 

(1) යම් කලෙක කරජකාය ය පාදකධ්‍යාන නිශ්‍ර‍යකොට අදෘශ්‍යමාන කයින් යනු කැමැතිව පාදකධ්‍යාන චිත්තයා ගේ වශයන් මහද්ගත චිත්තයහි කය සමාරොපණය කෙරේ ද, එකල්හි “කායං පරිණාමෙති” ‘කය පිරිනමාය’ යි (ද්‍විතීයා විභක්තියෙන් වාව්‍ය වූ කය අරමුණු වේ යයි) කීයෙන් රූප කායයාගේ වර්‍ණයතනය ආලම්බන කොට පවත්නා හෙයින් පරිත්තාලම්බනික වේ.

 

(2) යම් කලෙක පාදකධ්‍යාන සිත රූපකාය නිශ්‍ර‍ය කොට ගෙන දෘශ්‍යමාන කයින් යනු කැමැති වැ (රූපකායයා ගේ වශයෙන්) පාදකධ්‍යාන චිත්තය රූපකායයෙහි මොනවට පිහිටුවා නම් එකල “චිත්තං පරිණාමෙති” යි (ද්‍විතීයා විභක්තියෙන් වාව්‍ය වූ) ධ්‍යාන චිත්තය අරමුණු කොට පවත්නා හෙයින් මහග්ගතාලම්බනික වේ.

 

(3) යම් කලෙක අතීත - නිරුද්ධ වූ ඒ පාදකධ්‍යාන චිත්තව මැ අරමුණු කෙරේ නම් එකල අතීතාලම්බනික වේ.

 

(4) සර්‍වඥශාරීරික ධාතු නිධානයෙහි අනාගත කාලය අධිට්ඨාන කළා වූ මහාකාශ්‍යපා දී ස්ථවිරවරුන් ගේ ඉද්ධිවිධ ඤාණය මෙන් අනාගත කාලය අරමුණු කොට පවතී.

 

මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මහා ධාතු නිධානය කරන සේක් අනාගතයෙහි දෙසිය අටළොස් (218) වැනි වස දක්වා මේ සුවඳ සදුන් කල්ක නො වියළේවා! මේ මල් නො මැලවේවා! මේ පහන් නො නිවේවා! යි ඉටූ සේක. සියල්ල එසේ වී.

 

අස්සගුත්ත මහතෙරුන් වහන්සේ වත්තනිය සෙනස්නෙහි වැසි භික්‍ෂු සංඝයා වහන්සේ වියළි බත් වළඳනු දැක එහි වූ ජලය දිනපතා පෙරබත දීරස වේවා වි ඉටූ සේක. සියල්ල ගත් ජලය දීරස වී පසුබත ගත් ජලය පියවි දිය වී.

 

විශේෂ:- මේ දෙ තැන මැ ප්‍ර‍ත්‍යුත්පන්න සුගන්‍ධාදිය ගත ද අනාගත රූපය මැ අධිට්ඨාන චිත්තයට අරමුණු වූ හෙයින් අනාගතාලම්බනික වේ.

 

(5) රූපකායය පාදකධ්‍යාන චිත්ත නිශ්‍ර‍ය කොට අදෘශ්‍යමාන කායයෙන් යන කල්හි ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බනික වේ.

 

(පාදකධ්‍යාන චිත්තය ප්‍ර‍කෘතියෙන් මැ අදෘශ්‍යමානය, දෘශ්‍යමාන රූපකාය ය ඒ ධ්‍යාන චිත්තය නිශ්‍ර‍ය කොට ගත් කල්හි රූපකාය ද අදෘශ්‍යමාන වේ.)

 

(6) කාය වශයෙන් පාදකධ්‍යාන චිත්තය හෝ, පාදකධ්‍යාන චිත්ත වශයෙන් කය හෝ පිරිනමන කල්හි ද, තමා ගේ කුමාර රූපාදිය මවාපාන කල්හි ද, තමාගේ රූපකායය හෝ පාදකධ්‍යාන චිත්තය හෝ අරමුණු කරන හෙයින් අධ්‍යාත්මිකාලම්බනික වේ.

 

(7) බාහිර වූ ඇත් - අස් ආදීන් මවාපාන කල්හි බහිද්ධාලම්බනික වේ.

 

මෙසේ ඉද්ධිවිධඤාණය සප්තාලම්බනයෙකැ පැවැත්ම දත යුතු.

 

2 දිව්‍ය ශ්‍රොත්‍ර‍ ධාතු අභිඥාව

(1) පරිත්තාලම්බනය

(2) ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බනය

(3) අධ්‍යාත්මාලම්බනය

(4) බහිද්ධාලම්බනය යි සිව් වැදෑරුම් වූ අරමුණුකැ පවතී.

 

ඒ මෙසේ යි.

 

(1) ඒ දිව්‍යාශ්‍රෝත්‍ර‍ ධාතු ඥානය ශබ්දය අරමුණු කෙරේ නම් සියලු ශබ්දය කාමාවචර හෙයින් පරිත්තාලම්බනික ය.

 

(2) විද්‍යාමාන වූ මැ ශබ්දය අරමුණු කරන හෙයින් ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බනික ය.

 

(3) ඒ දිව්‍ය ශ්‍රෝත්‍ර‍ ධාතු ඥානය තම කුක්‍ෂිගත ශබ්දය අරමුණු කොට පවත්නා කල්හි අධ්‍යාත්මාලම්බනික ය.

 

(4) අනුන් ගේ කථිත-හසිතාදි ශබ්ද අසන කල්හි බහිද්ධාලම්බනික ය. මෙසේ දිව්‍යශ්‍රොත්‍ර‍ ධාතු අභිඥාව සතරාකාර ආලම්බනයෙහි පවත්නා බව දත යුතු.

 

3 චේතොපරිය ඤාණය

(1) පරිත්තාලම්බනය

(2) මහද්ගතාලම්බනය

(3) අප්‍ර‍මාණාලම්බනය

(4) මාර්‍ගාලම්බනය

(5) අතිතාලම්බනය

(6) අනාගතාලම්බනය

(7) ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බනය

(8) බහිද්ධාලම්බනය යි අට අරමුණෙක පවතී.

 

ඒ මෙසේ යි.

(1) මෙරමා ගේ කාමාවචර සිත් දැනගන්නා කල පරිත්තාලම්බනිකය.

 

(2) රූපාවචර - අරූපාවචර සිත් දැනගන්නා කල මහද්ගතාලම්බනික ය.

 

(3) මාර්‍ග-ඵලයන් දැනගන්නා කල අප්‍ර‍මාණාලම්බනික ය.

 

විශේෂ:- ‘පෘථග්ජන චේතෝපරිය ඤාණලාභී හට සෝවාන් පුද්ගලයාගේ මාර්‍ග-ඵලසිත් නො දත හැක්කේ ය.’ ‘සෝවාන් අභිඥාලාභී හට ශකෘදාගාමික මාර්‍ග ඵල සිත් නො දත හැක්කේ ය. යනාදි ක්‍ර‍මයෙන් රහතුන් ගේ මාර්‍ග ඵල චිත්තයන් දක්වා එළවියයුතු. රහතන් වහන්සේ සියලු ආර්‍ය්‍යයන් ගේ සිත් දැනගන්නා සේක. අන්‍ය වූ මත්තෙහි වූ ආර්‍ය්‍යයෝ හට ආර්‍ය්‍යයන් ගේ සිත් දන්නාහ. එසේ මැ සම සම වූ ආර්‍ය්‍යයෝ සම වූ ආර්‍ය්‍යයන් ගේ සිත් දන්නාහ. එසේ මැ සම සම වූ ආර්‍ය්‍යයෝ සම වූ ආර්‍ය්‍යයන් ගේ සිත්දන්නාහ.

 

(4) මාර්‍ග චිත්තය අරමුණු කරන කල්හි මාර්‍ගාලම්බනික ය.

 

(5) අතීතයෙහි සත් දවසක් ඇතුළත අනුන් ගේ සිත් දැනගන්නා කල අතීතාලම්බනික ය.

 

(6) අනාගතයෙහි සත් දවසක් ඇතුළත ඇතුළත සිත් දැනගන්නා කල අනාගතාලම්බනික ය.

 

(7) ප්‍ර‍ත්‍යුම්පන්නාලම්බන වන සැටි මෙසේ යි. ඒ වූ කලි

 

(අ) ඛණ පච්චුප්පන්නය

(ආ) සන්තති පච්චුප්පන්නය

(උ) අද්ධා පච්චුප්පන්නය යි ත්‍රිවිධ වේ.

(අ) උත්පාද - ස්ථිති - භඞ්ග යන ලක්‍ෂණත්‍ර‍යට පැමිණ ධර්‍මය ඛණපච්චුප්පන්න නමි.

(ඉ) රූපා රූපයෙන් ගේ වශයෙන් එක් සන්තති වාරයෙක හෝ ද්වි සන්තති වාරයෙක හෝ ඇතුළත් වූ ධර්‍මය සන්තති පච්චුප්පන්න නම් වේ.

 

ඒ මෙසේයි:- අන්‍ධකාරයෙහි සිට ආලෝකයට ගියහුට රූප ප්‍ර‍කට වේ. යම්තාක් ඒ ප්‍ර‍කට වේ ද, ඒ අතර සන්තති වාර එකක් දෙකක් දතයුතු. ආලෝකයෙහි සිට අන්‍ධකාරයට ගියහුට ද, රූපාලම්බනය ප්‍ර‍කට නො වේ. එය ප්‍ර‍කටවන අතර සන්තති වාර එකක් දෙකක් වේ. දුර සිට රදනවුන්හේ රෙදිගසන හස්ත විකාරය ද, බෙර-ගෙඩි වයන හස්ත විකාරය ද, දැනීම හා ශබ්ද ඇසීම සතර සන්තති එකෙක් දෙකෙක් වේ. මේ මධ්‍යම භාණක මතය යි.

 

විශේෂ :- සංයුත්තභාණකයෝ රූප සන්තති, අරූප සන්තති යැයි සන්තති දෙකෙකැ යි කියා එයට මෙසේ නිදසුන් දක්වති.

 

දියෙහි බැස ගියහුට ඉවුර සමීපයෙහි ඇක්මුණු ජලරේඛාව යම්තාක් වේලාවකින් නො පැහැදේ ද මේ අතරතුර කාලය රූප සන්තතියෙක් වේ. තවද දීර්‍ඝ මාර්‍ගයහි අවුත් සෙවණට පිවිසියහු ගේ ශරීරයෙහි උණුසුම යම්තාක් නො සන්සිඳේ ද අව්වේ සිට අවුත් ගබඩාවට පිවිසියහු ගේ අඳුරු බව යම්තාක් පහනොවේ ද ඇතුළුගබ කමටහන් වඩා දහවල් කවුළුව හැර පිටත බලන්නහුගේ ඇස්හි චඤ්චල බව යම්තාක් නො සන්සිඳේ ද මේ අතර කාලය රූප සන්තති නම. දෙතුන් (කාමාවචර) ජවන වාර අරූප සන්තති නමැ”යි කියා මේ දෙක මැ සන්තතිපච්චුප්පන්නයැ යි කියත්.

 

(උ) ප්‍ර‍තිසන්‍ධි - චුති දෙකින් පිරිසිඳිනා ලද එක භවයක් ඇතුළත වූ නාම-රූප ධර්‍ම සමූහය අද්ධා පච්චුප්පන්න ය.

 

එයින් වදාළහ.

 

“යොචාවුසො මනො යෙච ධම්මා උභයම්පෙතං පච්චුප්පන්නං තස්මිං පච්චුප්පන්නෙ ඡන්‍දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. ඡන්‍දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස තදභිනන්‍දති. තදභිනන්‍දත්තො පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරතීති”[453]

 

‘ඇවැත්නි! සම්ප්‍ර‍යුක්ත ධර්‍ම සහිත යම් සිතෙක් වේ ද, යම් ආලම්බන කෙනෙක් වෙද්ද, නොහොත් මනායතනයක් හා වේදනාදි නාමස්කන්‍ධ වෙද්ද, ඒ මනායතන-ධර්‍මායතන දෙකමැ අද්ධාපච්චුපන්නයෙහි ඇතුළත් වේ. ඒ අද්ධාපච්චුප්පන්නයෙහ නිකන්ති විඤ්ඤාණය ඡන්‍ද රාගයෙන් ප්‍ර‍තිබද්ධ වූයේ වේ. ඒ නිකන්ති විඤ්ඤාණය ඡන්‍ද රාගයෙන් ප්‍ර‍තිබද්ධ බැවින් ඒ ප්‍ර‍ත්‍යුත්පන්න ධර්‍මයෙහි තෘෂ්ණා-දෘෂ්ටි අභිනන්‍දන වශයෙන් ඇලෙන්නේ වේ. ඒ ප්‍ර‍ත්‍යුත්පන්න ධර්‍මයෛහි ඇලෙන්නා වූ සත්ත්‍ව තෙමේ ඒ ධර්‍මයන්හි ඇකිලෙන්නේ වෙයි. (මොවුන් අතුරින් මෙහි සන්තති පච්චුප්පන්නය අටුවාවන්හි ආයේ ය.)

 

විශේෂ :- මෙහි ද්වාදශායතනය ප්‍ර‍ත්‍යුත්පන්නය යි ගත් හෙයින් ඒ ද්වාදශායතනයහි පැවැති ඡන්‍දරාගය, ‘අද්ධාපච්චුප්පන්නාලම්බනය, ඛණ පච්චුප්පන්නාලම්බන නොවේ යයි දක්වනු පිණිස මේ සූත්‍ර‍ය දැක් වී.

 

තවද, විදර්‍ශනා චිත්තය ඛණපච්චුප්පන්නය, විදර්‍ශනා කටයුතු ධර්‍මයෝ අද්ධා පච්චුප්පන්නයහ යි ගත යුතුය. අන් පරිද්දෙකින් වේ නම් විදර්‍ශනා නො ලැබෙන්නේ ය.

 

අද්ධා පච්චුප්පන්නය සූත්‍රයෙහි ආයේ ය. ඛණ පච්චුප්පන්නය පෙළෙහි ආයේ ය’ යි නො කියන ලද්දේ ඒ වශයෙන් අරමුණු කිරීම අටුවාහි නො ආ හෙයිනි.

 

මතභේද:- ‘මේ තුන් වැදෑරුම් ප්‍ර‍ත්‍යුත්පන්නයන් අතුරින් ඛණ පච්චුප්පන්න චිත්තය, චේතෝපරියඤාණයට අරමුණු වේ ය යි’ අභයගිරිවාසී ආචාර්‍ය්‍යවරයෝ කියති.

 

කවර හෙයින් ද යත් :- සෘද්ධිමත්හු ගේ ද, මෙරමා ගේ ද ඒකක්‍ෂණයෙහි සිත උපදනා හෙයිනැ යි කියත්. මේ එයට සාධකයෙකි. “මල් මිටක් ගෙන අහසට දැමූ කල එයින් එක් මල් නටුවක් අනෙක් මල් නටුවක මුහුණට මුහුණ ලා වැටෙන්නාක් මෙනි. ‘මෙරමා සිත් දැන ගනිමි යි’ රාශි වශයෙන් මහා ජනයාගේ සිත් ආවර්‍ජනා කරන කල්හි අවශ්‍යයෙන් එක්තරා කෙනෙකුන්ගේ සිතක් සෘද්ධිමත්හු ගේ සිතකින් උත්පාදක්‍ෂණයෙහි හෝ, ස්ථිති ක්‍ෂණයෙහි හෝ භඞ්ග ක්‍ෂණයෙහි හෝ දැනගන්නේ ය”යි කියා යි.

 

මේ වූ කලි ‘හවුරුදු සියයක් මුළුල්ලෙහි හෝ දහසක් මුළුල්ලෙහි හෝ ආවර්‍ජනා කරන්නහුගේ යම් සිතකින් ආවර්‍ජනා කෙරේ ද, යම් සිතකින් දැනගන්නේ ද ඒ දෙ සිතේ එක්වැ පැවැත්මක් නැති හෙයින් හා ආවර්‍ජනා ජවනයන් ගේ මාර්‍ග ඵල වීථියෙන් අන්‍ය වූ නො කැමති විය යුතු ස්ථානයෙක්හි නානාලම්බන අභාවප්‍රාප්ති දෝෂය ඇති බැවින් ද නොයෙදේ යයි, (අභයගිරි වාසීන්ගේ) වාදය අටුවාවන්හි ප්‍ර‍තික්‍ෂිත යි.

 

එසේ වන්නා චේතෝපරිය ඤාණය කෙසේ පච්චුප්පන්නාලම්බනික වේ ද යත් :- චේතෝපරිය ඤාණයට සන්තති පච්චුප්පන්නය හා අද්ධා පච්චුප්පන්නය ද යන දෙක මැ අරමුණු වන්නේ යයි දත යුතු.

 

ඒ දෙවැදෑරුම් ආලම්බනයන් අතුරින් වර්‍තමාන ජවන වීථියෙන් අතීත-අනාගත වශයෙන් දෙතුන් ජවන වීථි ප්‍ර‍මාණ කාලයෙහි මෙරමා හට යම් සිතෙක් පහළවේද, ඒ සියලු සිත සන්තතිපච්චුප්පන්න නමි.

 

අද්ධා පච්චුප්පන්නය වනාහි ජවන වාරයෙන් ප්‍ර‍කාශ කටයුතුයැ යි සංයුත්ත අටුවාහි කී වචනය මොනවට කියන ලද්දේ මැ යි. (ජවන වාරයාගේ අඬා පච්චුප්පන්නය භාවය ප්‍ර‍කාශ කිරීම මුඛයෙන් සෘද්ධි චිත්තය පවත්නා ආකාරය දක්වයි.) සෘද්ධිමත් තෙමේ මෙරමා සිත දැනගනු කැමැති ව ආවර්‍ජනා කෙරේ ද, ඒ ආවර්‍ජන චිත්තය බණ පච්චුප්පන්නය අරමුණු කොට ඒ (අරමුණු කළ) සිත හා නිරුද්ධ වේ. ඉන්පසු ජවන සතරෙක් පසෙක් දිවේ. ඔවුනතුරින් අන්තිම ජවනය සෘද්ධි නම් වේ. සෙසු ජවනයෝ කාමාවචරයෝ ය. ඒ සියලු ජවනයන්ට (නිරුඬ වූ ආවර්‍ජනයන්ට) අරමුණු වූ ඒ මෙරමා ගේ චිත්තය මැ අරමුණු වේ. ඒ ආවර්‍ජන ජවනයෝ නානාලම්බනික නොවෙත්. කාල වශයෙන් ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බනික හෙයිනි. එකාලම්බනික වූ ද සෘද්ධි චිත්තයම මෙරමා ගේ සිත පිරිසිඳ දන්නේ මැයි.

 

සෘද්ධි චිත්තයෙන් අන්‍ය වූ ආවර්‍ජන-පරිකර්‍ම චිත්තයෝ නො දනිති. චක්‍ෂුර්ද්වාර වීථියෙහි චක්‍ෂුර් විඥාන චිත්තය මැ රූප දක්නේ ය. අන්‍ය වූ පඤ්චද්‍වාරාවජ්ජන - සම්පටිච්ඡන සන්තීරණ වොත්‍ථපන සිත් රූප නො දක්නාක් මෙනි.

 

මෙසේ මේ චේතෝපරිය ඤාණය:- සන්තති පච්චුප්පන්නයා ගේ ද, අද්ධා පච්චුප්පන්නයාගේ ද, වශයෙන් පච්චුප්පන්නා ලම්බනික වේ. සන්තති පච්චුප්පන්නය ද, අද්ධා පච්චුප්පන්නයෙහි වැටෙන හෙයින් මැ ඒ චේතෝපරිය ඤාණය අද්ධා පච්චුප්පන්න වශයෙන් මැ පච්චුප්පන්නාලම්බනික වේ යයි දත යුතු.

 

(8) එසේ මැ මෙරමා ගේ චිත්තය ආලම්බන කොට ඇති හෙයින් බහිද්ධාලම්බනික වේ.

 

මෙසේ චේතෝපරියඤාණය අට වැදෑරුම් අරමුණෙකැ පවත්නා බව දත යුතු.

 

4. පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය ද පරිත්තාලම්බනාදි වශයෙන් ආලම්බන අටෙක පවතී.

 

කෙසේද යත් :-

 

(1) ඒ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය කාමාවචර ස්කන්ධයන් සිහි කරන කාලයෙහි පරිත්තාලම්බනික යැ.

(2) රූපාවචර - අරූපාවචර ධ්‍යාන සිහි කරන කල්හි මහද්ගතාලම්බනික යැ.

(3) අතීත භවයෙහි තමා විසින් හෝ මෙරමා විසින් වඩනා ලද මාර්‍ග හා ප්‍ර‍ත්‍යක්‍ෂ කරන ලද ඵල සිහිකරන කල්හි අප්පමාණාලම්බනික යැ.

(4) වඩනා ලද මාර්‍ගය මැ සිහි කරන කල්හි මාර්‍ගලම්බනික යැ.

(5) නියමයෙන් මැ මේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය අතීතාලම්බනික මැ වේ.

 

ඔවුනතුරෙන් හුදෙක් චේතෝපරියඤාණය-යථාකම්මූපගඤාණය යන දෙදෙන අතීතාලම්බන වන්නාහ. එතෙකුදු වුවත් ඔවුනතුරින් චේතෝපරියඤාණයට අතීතයෙහි සත් දවසක් තුළ ඉක්ම ගිය චිත්තය ම අරමුණු වේ. (එය එයින් අන්‍ය වූ සිතක් හෝ, ස්කන්‍ධප්‍ර‍තිබද්ධ නාම-ගෝත්‍රාදියක් හෝ නො දනී.)

 

මාර්‍ගය හා සම්ප්‍ර‍යුක්ත චිත්තය අරමුණු කොට ඇති හෙයින් පර්‍ය්‍යාය වශයෙන් මාර්‍ගාලම්බනික යැ යි කියන ලදී. යථාකම්මූපග ඤාණයට ද, අතීත කුසලා‘කුසල චෙතනාව මැ අරමුණු වේ.

 

විශේෂ :- පූර්‍වෙනිවාසානුස්මෘතිඥානයට අතීත ස්කන්‍ධයන් ද, ස්කන්ධප්‍ර‍තිබද්ධ වූ නාමාගෝත්‍රාදිය ද, යන මොවුන් අතුරින් අරමුණු නො වන කිසි ධර්‍මයෙක් නැත්තේ ය.

 

ඒ එසේ මැයි.

 

පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය අතීත වූ ස්කන්‍ධය, ස්කන්‍ධප්‍ර‍තිබද්ධ නාම ගෝත්‍රාදියෙහි, නිර්‍වාණය සහිත සියලු ධර්‍ම විෂයෙහි සර්‍වඥතාඥානයා ගේ ස්වභාවය ඇත්තේ ය. මේ මෙහි අටුවා නය යි.[454]

 

“කුසලාබන්‍ධා ඉද්ධිවිධ ඤාණස්ස චේතෝපරිය ඤාණස්ස යථාකම්මූපග ඤාණස්ස අනාගතංස ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො”[455]

 

‘කුශලස්කන්‍ධ ඉද්‍ධිවිධඤාණය, චේතෝපරියඤාණය, පුබ්බෙනිවාසානුස්සතිඤාණය, යථාකම්මූපගඤාණය, අනාගතංසඤාණය යන මොවුන්ට ආලම්බන ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වෙති” යි වදාළ හෙයින් සතර නාම ස්කන්ධයෝම චේතෝපරිය ඤාණයට හා යථාකම්මූපගඤාණයට අරමුණු වෙති.

 

ඔවුනතුරිනුදු යථාකම්මූපගඤාණයට කුශලා කුශල ස්කන්‍ධයෝ මැ අරමුණු වෙති.

 

(6) තමා ගේ අතීත වූ ස්කන්‍ධ සිහි කරන කල මේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය ආධ්‍යාත්මාලම්බනික යැ.

 

(7) මෙරමා ස්කන්ධයන් සිහිකරන කල බහිද්ධාලම්බනික යැ.

 

(8) ‘අතීතයෙහි විපස්සී භාග්‍යවතුන් වහන්සේ වූ සේක. උන්වහන්සේ ගේ මෑණියෝ ‘බන්‍ධුමතී’ නමු. පියාණෝ ‘බන්‍ධුමා’ නම්හ යි යනාදීන් නාම-ගෝත්‍ර‍ පෘථිවි නිමිත්තාදිය සිහිකරන කල නවක්තව්‍යාලම්බනික යැ.

 

මෙහි නාම-ගෝත්‍ර‍ යැ යි කියන ලද්දේ ස්කන්‍ධ ප්‍ර‍තිබද්ධ සම්මුතියෙන් සිද්ධ ශබ්දාර්‍ථ ය යි. ශබ්දය නාම - ගෝත්‍ර‍ යැ යි නො ගත යුතු. බ්‍යඤ්ජන සඞ්ඛ්‍යාත ශබ්දය ශබ්දායතන සංගෘහීත වන බැවින් කාමාවචර ධර්‍මයක් වේ. එහෙයින් “නිරුත්ති පටිසම්භිදාපරිත්තාලම්බනති[456] ‘නිරුත්ති පටිසම්භිදාව කාමාවචරාලම්බන වේ’ යැ යි වදාළහ. නාම - ගෝත්‍ර‍ය නම් සම්මුතියෙන් සිද්ධ ශබ්දාර්‍ථයැ යි යන විනිශ්චය වනාහි අපගේ අත්තනෝමතිය, යි. මෙසේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය අරමුණු අටෙකැ පැවැත්ම වේ.

 

5. දිබ්බචක්ඛු ඤාණය:- පරිත්ත-පච්චුප්පන්න-අජ්ඣත්ත-බාහිරආලම්බන වශයෙන් සිව් වැදෑරුම් ආලම්බනයෙහි පවත්නේ ය.

 

කෙසේ ද යත්:-

(1) දිව්‍යචක්‍ෂුරභි ඥානය, රූප අරමුණු කරන කල (රූපය කාමාවචර හෙයින්) කාමාවචරාලම්බනික යැ.

(2) විද්‍යාමාන වූ මැ රූපාලම්බනාදියක් පවත්නා හෙයින් පච්චුප්පන්නාලම්බනික යැ.

(3) තමා කුක්‍ෂිගත රූපාලම්බනාදියක් අරමුණු කල අජ්ඣත්තාලම්බනික යැ.

(4) මෙරමා ගේ රූපායතනාදියක් අරමුණු කරන කල්හි බහිද්ධාලම්බනික යැ. මෙසේ දිව්‍යචක්‍ෂුරභිඥානය සතර අරමුණෙකැ පවත්නේ ය.

 

6. අනාගතංසඤාණය:- පරිත්ත - මහග්ගත - අප්පමාණ - මග්ග-අනාගත-අජ්ඣත්ත-බහිද්ධා-නවත්තබ්බ වශයෙන් අට අරමුණෙකැ පවතී.

 

(1) මෙතෙමේ අනාගත ආත්මයෙහි කාමාවචර භූමියෙහි උපදනේ ය’යි දැනගන්නා කළ පරිත්තාලම්බනික යැ.

(2) මතු රූපා‘රූප භූමීන්හි උපදනේ යැ’යි දැනගන්නා කල මහග්ගතාලම්බනික යැ.

(3) මාර්‍ගය වඩන්නේ ය ඵලය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නේ යැ’යි දැනගන්නා කල අප්පමාණාලම්බනික යැ.

(4) ‘මාර්‍ගය වඩන්නේ’ යි දැනගන්නා කල මාර්‍ගාලම්බනික යැ.

(5) ඒ අනාගතාංශ ඥානය එකාන්තයෙන් මැ අනාගතාලම්බනික යැ.

 

විශේෂ:- මොවුනතුරින් හුදෙක් චේතෝපරියඤාණය ද අනාගතාලම්බනික යි. එතෙකුදු වුවත් එයට අනාගතයෙහි සත් දවස් ඇතුළත පවත්නා චිත්තය මැ අරමුණු වේ. හෙද ඒ සිතින් අන්‍ය වූ රූපස්කන්‍ධ හෝ ස්කන්‍ධ ප්‍ර‍තිබද්ධ නාම-ගොත්‍රාදිය හෝ නො දන්නේ ය. අනාගතංශ ඥානයට පූර්‍වෙනිවාසානුස්මෘති ඥානයෙහි කී සෙයින් අරමුණු නො වන්නා වූ අනාගත කාලික ධර්‍මයෙක් නම් නැති.

 

(6) ‘මම අනාගතයෙහි අසුවල් තැන උපදිනෙමි’යි දැන ගන්නා කල අධ්‍යාත්මාලම්බනික යැ.

 

(7) ‘අසුවල් සත්ත්‍ව තෙමේ අනාගත භවයෙහි අසුවල් තැන උපදන්නේය’ යි දැනගන්නා කල බහිද්ධාලම්බනික යැ.

 

(8) අනාගතයෙහි මෙතේ බුදුහු උපදනාහ උන්වහන්සේ ගේ පිය තෙමේ “සුබ්‍ර‍හ්ම” නම් බ්‍රාහ්මණ යැ. මවු තොමෝ “බ්‍ර‍හ්මවතී” නම් බැමිණිය යැ. යනාදීන් නාම - ගෝත්‍රාදීන් දැනගන්නා කල පූර්‍වෙනිවාස ඥානයෙහි කී සෙයින් නවත්තබ්බාලම්බනික යැ.

 

මෙසේ අනාගතංසඤාණය අට වැදෑරුම් වේ.

 

7. යථාකම්මූපග ඤාණය:- පරිත්ත - මහග්ගත - අතීත - අජ්ඣත්ත - බහිද්ධා - ආලම්බන වශයෙන් අරමුණු පසෙක පවතී.

 

ඒ මෙසේ යි.

 

(1) කාමාවචර කර්‍ම දැනගන්නා කල පරිත්තාලම්බනික යැ.

(2) රූප‘රූප කර්‍ම දැනගන්නා කල මහග්ගතාලම්බනික යැ.

(3) අතීත කුශලාකුශල කර්‍ම දැනගන්නා කල අතීතාලම්බනික යැ.

(4) තමාගේ කර්‍ම දැනගන්නා කල ආධ්‍යාත්මාලම්බනික යැ.

(5) මෙරමා ගේ කර්‍ම දැනගන්නා කල බහිද්ධාලම්බනික යැ.

 

මෙසේ යථාකම්මූපග ඤාණයා ගේ පස් තැනෙකැ පැවැත්ම දත යුතු.

 

මෙහි අධ්‍යාත්මාලම්බන - බාහිරාලම්බන යැ යි කීයේ, ‘ඇතැම් කලෙක අධ්‍යාත්මාලම්බන දැනගැනීමේදී අධ්‍යාත්මයෙහි ද, ඇතැම් කලෙක බාහිරාලම්බන දැනගැනීමේදී බහිද්ධාලම්බනයෙහි ද වේ යැ’යි දැනගැනීම සඳහා යැ.

 

මෙතෙකින් සාධු ජනයා ගේ ප්‍රමෝදය පිණිස කළ

‘විශුද්‍ධි මාර්‍ගයෙහි’ අභිඥා නිර්දේශ නම්

තෙළෙස් වන පරිච්ඡේදය නිමි.

 

     


14 වන පරිච්ඡේදය

ස්කන්‍ධ නිර්දේශය

 

      මෙසේ පඤ්චාභිඥා වශයෙන් ලබන ලද අනුසස් ඇති අතිශයින් ස්ථිර වූ සමාධි භාවනාවෙන් යුක්ත වූ යෝගාවචර භික්‍ෂුව විසින් ‘සීලෙපතිඨාය නරොසපඤ්ඤො-චිත්තං පඤ්ඤඤ්ච භාවං’[457] යි මෙහි චිත්ත ශීර්‍ෂයෙන් දැක් වූ සමාධිය සර්‍වාකාරයෙන් වඩන ලද්දේ වේ. (දැන්) එයට අනතුරු වැ ප්‍ර‍ඥා භාවනාව වැඩිය යුතු ය.

 

එහෙත් එය ‘පඤ්ඤං භාවයං’ යී ඉතා සැකෙවින් වදාරන ලද හෙයින් නො දත හැකි වේ. වැඩීමට අතිශයින් දුෂ්කර ද වේ. එහෙයින් ඒ ප්‍ර‍ඥා භාවනාව පිළිබඳ විස්තර ක්‍ර‍මයෙන් දැක්වීම සඳහා මේ ප්‍ර‍ශ්න (විචාරීම) වේ.

 

(1)     ප්‍ර‍ඥාව නම් කිම

(2) කවර අර්‍ථයෙන් ප්‍ර‍ඥා නම් වේ ද

(3) ඒ ප්‍ර‍ඥාව ගේ ලක්ෂණ, රස, ප්‍ර‍ත්‍යූපස්ථාන, පදස්ථානයෝ කවරහු ද

(4) ප්‍ර‍ඥාව කී වැදෑරුම් ද

(5) කෙසේ ප්‍ර‍ඥා භාවනා වැඩිය යුතු ද

(6) ප්‍ර‍ඥා භාවනානිශංස කවරේ ද යනු යි.

 

විශේෂ:-i.  මෙහි සංකිලෙස - වොදානයෝ කවර හෙයින් නො දැක්වූහු ද යත්. ලෝකෝත්තර ප්‍ර‍ඥාවේ කෙලෙසීමක් නැති හෙයින් හා ඒ නැති කල පිරිසිදු වීමක් කැලැ මැ නැති හෙයිනි. එය ලෞකික අවස්ථාවෙහි “මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි” වශයෙන් භාවනාවෙහි මැ ඇතුළත් වේ. ‘ඒ සමාධි භාවනාවෙහි ඇතුළත් වූ හෙයින් හෝ මෙහි නො ගැනිණැ’යි ද යෙති.

 

ii. ප්‍ර‍තිපත්තිය ද ආනිසංස දැක් වූ හෙයින් ‘එහි මැ ඇතුළත් වේ ය’ යි නො දැක් වී.

මේ ප්‍ර‍ශ්නයක් පාසා පිළිතුරු ය.

 

i. ප්‍ර‍ඥාව නානා විධ ය. ඒ සියල්ල විස්තර කිරීමට ඇරැඹි නම් විදර්‍ශනාමාර්‍ගප්‍ර‍ඥාව වශයෙන් අදහස් කළ අර්‍ථය සිදු නොවේ. හුදෙක් නොසන්සුන් බව පිණිස පවති. එහෙයින් කුසල් සිතෙහි යෙදුණු විදර්‍ශනා ඥානය මෙහිලා ප්‍ර‍ඥායැ යි අභිප්‍රෙත යැ.

 

2. ‘ප්‍රභේද වශයෙන් දැනගැනීම් අර්ථයෙන් ප්‍ර‍ඥා නම් වේ. අරමුණු හැඳින ගැනීම් ය, විශෙෂ දැනගැනීම ය, නානාප්‍ර‍කාරයෙන් ප්‍රභේද වශයෙන් දැනගැනීම ය, යන මේ ලක්‍ෂණ වශයෙන් සංඥා - විඥාන - ප්‍ර‍ඥාවන් ගේ දැනීම සමාන වුව ද, මෙහිලා විශේෂය නම්, සංඥාව නීල-පීතාදි වශයෙන් අරමුණ හැඳිනීම් මාත්‍ර‍ය මුත් අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණ දැනීම නො කෙරේ. විඥානය නීලාදි වශයෙන් අරමුණු හැඳිනීම හා අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණ ප්‍ර‍තිවේධය ද කෙරේ. එහෙත් උත්සාහ කොට මාර්‍ග ඉපදවීමට සමර්‍ථ නො වේ.

 

ප්‍ර‍ඥාව වනාහි නීල-පීතාදි වශයෙන් අරමුණු හැඳිනීමෙහි ද, අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණ දැනීමෙහි ද, උදයව්‍යයඥානාදි පිළිවෙළින් ව්‍යායාම කොට මාර්‍ග පහළ කිරීමෙහි ද සමර්‍ථ වේ.

 

නිදර්‍ශනයෙකි:- රන්කරුවා ගේ රන්පෝරුව මත තැබූ කහවණු රැසක් දැක (ගනුදෙනු කිරීම ආදිය පිළිබඳ) හටගත් නුවණ නැති බාල දරුවෙක් ද, පිටිසර ගම් වැසි පුරුෂයෙක් ද, රන්කරුවෙක් ද යන තුන් දෙනා අතුරෙන් බාල දරුවා ඒ කහවණුයෙහි වර්‍ණ ය, සලකුණු ය, යන මේ වශයෙන් දැන ගනී. එහෙත් ගනු දෙනු ආදිය පිණිස පාවිච්චි කරන මෙතෙක් අගනා වස්තුවෙකැ යි නො දනී.

 

පිටිසර වැසියා එහි වර්‍ණ - සටහන් ආදිය ද දැන ගනී. ‘මනුෂ්‍යයන් ගේ ගනු දෙනු පිණිස උපයෝගී වස්තුවකැ’යි ද දැන ගනී. එහෙත් මේ කහවණුව දඹරන් ආදි ඒ ඒ රනින්න කළ මා ඇඟි කහවණුවකැ’යි හෝ ‘මෙය තඹ ආදියෙන් කළ බාල කහවණුවකැ’යි හෝ යනාදි විසින් විශේෂ විභාග නො දනී.

 

රන්කරු තෙමේ මේ සියලු ආකාරයෙන් හෙවත් ළදරුවාගේ හැඳිනීම් ආකාරය ද, පිටිසර වැසියා ගේ හැඳිනීම් ආකාරය ද දන්නේ වෙයි. එසේ දන්නේ ද කහවණු ඇසින් බැලීමෙන් ද, ගටා කනින් හඬ ඇසීමෙන් ද, සිඹ නැහැයෙන් ගඳ දැනීමෙන් ද, දිව ගා රස බැලීමෙන් ද, අතින්න කිරා බරින ද දැනගනී. ‘අසුවල් ගම හෝ නියම්ගම හෝ නුවර හෝ කරන ලදැ’යි හෝ ‘අසුවල් පර්‍වතයෙහි උපනැ’යි හෝ ‘අසුවල් ශිල්පියා විසින් කරන ලදැ’යි හෝ දැන ගනී.

 

උපමාන උපමෙය සංසන්දනය මෙසේ යි.

 

සංඥාව ව්‍යවහාරාදිය නො දත් ළදරුවාගේ කහවුණු හැඳිනීම මෙනි. නීලාදි වශයෙන් අරමුණ වැටහුණු ආකාර මාත්‍ර‍යක් ගන්නා හෙයිනි.

 

විඥානය පිටිසර ගම් වැසියාගේ කහවණු හැඳිනීම මෙනි. නීලාදි වශයෙන් වණණ-ඝණ්ඨානාදිය හැඳිනීමට හා මත්තෙහි අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණ ප්‍ර‍තිවේධයට ද පමුණුවන හෙයිනි.

 

ප්‍ර‍ඥාව රන් කරුවා ගේ කහවණු හැඳිනීම මෙනි. නීලාදි වශයෙන් අරමුණු ආකාර දැනීමට ද, අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණ ප්‍ර‍තිවේධයට ද පමුණුවා මත්තෙහි ද සෝවාන් ආදි මාර්‍ගයන්ට පමුණුවන හෙයිනි. ‘පජානනට්ඨෙන පඤ්ඤා’යි විවිධාකාරයෙන් ප්‍ර‍කට කොට දැනීම අර්‍ථයෙන් ප්‍ර‍ඥා යි.

 

එහෙයින් අරමුණ හැඳිනීම ය, විවිධාකාරයෙන් දැන ගැනීම ය යන මොවුන්ට වඩා විශිෂ්ට වූ විවිධාකාරයෙන් ප්‍ර‍කට කොට දැනීම පජානනය යි. එයින් ම (මේ විවිධාකාරයෙන්) ‘ප්‍ර‍කර්‍ෂයෙන් දැනීම් අර්‍ථයෙන් ප්‍ර‍ඥායැ’යි කීහ.

 

ඇතැම් චිත්තෝත්පාදයන්හි සංඥා - විඥාන ඇත ද (එහි දුහේතුක-අහේතුක සිත්හි) ප්‍ර‍ඥාව නො යෙදේ. සියලු චිත්තයක් පාසා සංඥා-විඥාන වේ. එහෙත් ප්‍ර‍ඥාව යෙදෙන සිත්හි සංඥා-විඥාන යන්ගෙන් වෙන්වැ නො යෙදේ. මෙසේ බෙදිය නොහැකි ධර්‍ම අතුරින් ඔවුනොවුන්ගේ වෙනස දැනීම ඉතා දුෂ්කර හෙයින් මොවුහු නො ලද හැකි වෙනස ඇති සියුම් වූ දැකීමට දුෂ්කර වූ ධර්‍මයෝ ය.

 

එහෙයින් මැ නාගසේන ස්ථවිරයන් වහන්සේ

 

මහරජ! භාග්‍යවතුන් වහන්සේ දුෂ්කරයක් කළ සේක.

 

මිලිඳු රජ - ස්වාමීනි! නාගසේන ස්ථවිරයන් වහන්ස! බුදුහු කවර දුෂ්කරයක් කළ සේක් ද

 

නාගසේක ස්ථවිර - මහරජ! එක් අරමුණෙක පවත්නා අරූපි වූ චිත්ත - චෛතසික ධර්‍මයන් අතුරින් ‘මේ ඵස්සය, මෝ වේදනාය, මෝ සංඥාය, මෝ චේතනාය, මේ චිත්තයැ යි මෙසේ වෙනස් ආකාර දේශනා කිරීමෙන් අනෙකකු විසින් නො කට හැකි දුෂ්කරයක් කළ සේකැ යි කී.[458]

 

3. එහි ලක්‍ෂණ, රස ප්‍ර‍ත්‍යුපස්ථාන, පදස්ථාන, කවරේ ද පෘථිවි ආදි රූප ධර්‍මයන් ගේ තද බැව් ආදිය හා, ස්පර්‍ශාදි අරූප ධර්‍මයන් ගේ අරමුණෙහි වැදගැනීම් ස්වභාවාදි එකිනෙකෙහි පවත්නා විශේෂ ස්වභාවය හෝ අනිත්‍යාදි සියල්ලට සාධාරණ ස්වභාවය හෝ අවිපරීත අවබෝධ කිරීම ප්‍ර‍ඥාවේ ලක්‍ෂණය යි.

 

නාම - රූප ධර්‍මයන් ගේ ස්වාභාවික ලක්‍ෂණය මුවහ කරන්නා වූ මොහාන්‍ධකාරය දුරලීම ප්‍ර‍ඥායෙහි කෘත්‍ය සඞ්ඛ්‍යාත රසය යි. (ප්‍ර‍ඥාව උපදනේ ම හෘදයෙහි පවත්නා මෝහාන්‍ධකාරය දුරු කෙරේ.)

 

ඒ ඒ නාම-රූප ධර්‍මයන්හි නොමුළාවීම් සඞ්ඛ්‍යාත ඵලය පච්චුපට්ඨානය යි. (මෝහය ප්‍ර‍හාණය වත් මැ ධර්‍ම ස්වභාවයෙහි මුළා නොවේ.)

 

සමාධිය ප්‍ර‍ඥාවේ ආසන්නකාරණය යි. (විදර්‍ශනා ප්‍ර‍ඥාව මෙහිලා අභිප්‍රේත හෙයිනි.)

4. නාම-රූප ධර්‍මයන් ගේ පෙර කී සේ සාමාන්‍ය විශේෂ ස්වභාවය ප්‍ර‍තිවේධ කිරීම් වශයෙන් ප්‍ර‍ඥාව ආවේණික ස්වභාවයෙන් හුදෙක් එකවිධ ය.

 

(2) ද්විභෙද:- i කාමාවචර - රූපාවචර - අරූපාවචර කුසල චිත්තයෙහි හෝ විශේෂයෙන් දිට්ඨි ආදි සතර විසුද්ධීන්හි හෝ යෙදෙන ප්‍ර‍ඥා වශයෙන් ලෞකික ද, සෝවාන් ආදි මාර්‍ග සිත්හි යෙදෙන ප්‍ර‍ඥා වශයෙන් ලෝකෝත්තරදැ යි දෙ වැදෑරුම් වේ.

 

එසේ ම: ii කාමාදි ආශ්‍ර‍වයනට හෝ තත් සම්ප්‍ර‍යුක්තයනට අරමුණ වූ ප්‍ර‍ඥාව සාශ්‍ර‍ව ද කාමාදි ආශ්‍ර‍වයන්ට අරමුණු නො වූ හෝ ආශ්‍ර‍ව සම්ප්‍ර‍යුක්ත නොවූ ප්‍ර‍ඥාව අනාශ්‍ර‍වදැ යි දෙ වැදෑරුම් වේ.

 

iii විදර්‍ශනා වඩන්නහු ගේ සතර නාම ධර්‍ම විභාග කිරීම් වශයෙන් පැවැත්තේ නාම ව්‍යවස්ථා ප්‍ර‍ඥා ය. රූප විභාග කිරීම් වශයෙන් පැවැත්තේ රූප ව්‍යවස්ථාපනප්‍ර‍ඥා ය.

 

iv සොමනස්ස සහගත ඤාණසම්පයුත්ත කුසල් දෙ සිතෙහි හා රූපාවචර ප්‍ර‍ථම ද්විතීය - තෘතීය - චතුර්‍ථ ධ්‍යානයන් සම්බන්ධ වූ සොළොස් (16) මාර්‍ග චිත්තයෙහි යෙදුණු ප්‍ර‍ඥාව සොමනස්ස සහගත ය. උපෙක්ඛා සහගත ඤාණසම්පයුක්ත කාමාවචර කුසල දෙ සිතෙහි හා පඤ්චමධ්‍යානික සතර මාර්‍ග චිත්තයෙහි ද යෙදුණු ප්‍ර‍ඥාව උපේක්ඛා සහගත ය.

 

v සෝවාන් මාර්‍ගය හා යෙදුණු ප්‍ර‍ඥාව ප්‍ර‍ථම කොට නිර්‍වාණය දක්නා හෙයින් දර්‍ශනභූමික ය. අවශේෂ මාර්‍ගත්‍ර‍ය ය හා යෙදුණු ප්‍ර‍ඥාව භාවනා භූමික ය. මේ ද්වි ප්‍ර‍කාර ප්‍ර‍ඥා භේදයෝ ය.

 

(3) ත්‍රිභෙද (1) ශ්‍රැතාදින් තොරව තමා සිතා උපදවන ලද්දේ චිත්තාමය ය. අනුන් ගේ උපදෙසින් උපදවන ලද්දේ ශ්‍රැතමය ය.

 

අසා හෝ නො අසනා හෝ භාවනාවෙන් උපදවන ලද (අර්පණා) ප්‍ර‍ඥාව භාවනාවමය යැ.

 

විස්තර:- එහි චින්තාමය ප්‍ර‍ඥාව කවර ද, ප්‍ර‍ඥායෙන් යොදන ලද ජීවනොපාය වූ කර්‍මාන්තයෙහි ද, එබඳු වූ ම හීන-උත්කෘෂ්ට ශිල්පයන්හි ද, තමා ස්වභාවයෙන් සිතා පණ්ඩිතයන් විසින් නිපදවන ලද විද්‍යාවන්හි ද, ‘කර්‍මය ස්වකීය කොට ඇති බව දැනීමෙහි ද, චතුස්සත්‍ය ප්‍ර‍තිවේධයට නැඟීගත් විදර්‍ශනා ඥානයෙහි හෝ රූපය අනිත්‍යය, දුඃඛය, අනාත්මය, කියා ද වේදනා-සංඥා-සංස්කාර-විඥාන-අනිත්‍යය, දුඃඛය, අනාත්මය කියා හෝ මෙසේ හිත පිණිස නැමුණු මේ සියල්ල දැකිය හැකි හෙයින් ද, දක්නා හෙයින් ද, රුචිකරන හෙයින් ද, නුවණින් සලකන හෙයින් ද, “තෙමේ ම ස්වභාවයෙන් වැටහේ. මෙරමා ගෙන් නො අසා ප්‍ර‍තිවේධ වේ, නුයි මේ චින්තාමය ප්‍ර‍ඥා නම. (මේ බෝසතුන්ටම උපදනා ප්‍ර‍ඥා විශේෂයෙකි.)

 

 එයින් වදාළහ.

 

“තත්‍ථ කතමා චින්තාමයා පඤ්ඤා, යොග විහිතෙසුවා කම්මායතනෙසු, යොග විහිතෙසුවා සිප්පායතනෙසු, යොග විහිතෙසුවා විජ්ජාට්ඨානෙසු කම්මස්සකතංවා, සච්චානුලොමි කංචා, රූපං අනිච්චාන්තිවා, වෙදනා - සඤ්ඤා - සංඛාරා - විඤ්ඤාණං අනිච්චන්තිවා, යං එවරූපිං අනුලොමිකං ඛන්තිං - දිඨිං-රුචිං - මුති - පෙක්ඛා - ධම්මනිජ්ඣනක්ඛන්තිං පරතො අසුත්‍වා පටිලභති අයං වුච්චති චින්තාමයා පඤ්ඤා”[459] යි.

 

මෙරමාගෙන් අසා ප්‍ර‍තිලබ්ධ වූයේ ශ්‍රැතමය ප්‍ර‍ඥා යැ. එයින් වදාළහ. “පරතො සුත්‍වා පටිල භති. අයං වුච්චති සුතමයා පඤ්ඤා”1 යි.

 

විදර්‍ශනාමාර්‍ග සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍ඥාව භාවනාමය ප්‍ර‍ඥා යි එයින් වදාළහ. “සබ්බාපි සමාපන්තස්ස පඤ්ඤා භාවනාමයා පඤ්ඤා” යි මෙසේ චින්තා - ශ්‍රැත - භාවනාමය වශයෙන් ත්‍රිවිධ යැ.

 

(ii) කාමාවචර ධර්‍මයන් අරභයා පැවති ප්‍ර‍ඥාව, පරිත්තාරම්මණ යැ.

රූපාවචර - අරූපාවචර ධර්‍මයන් අරභයා පැවති ප්‍ර‍ඥාව මහග්ගතාරම්මණ යැ. ඕ වූ කලී ලෞකික විදර්‍ශනා ය.

නිර්‍වාණය අරභයා පැවැති ප්‍ර‍ඥාව අප්පමාණාලම්බන යැ. ඕ ලෝකෝත්තර විදර්‍ශනා යි.

මෙසේ පරිත්ත-මහග්ගත - අප්පමාණාලම්බන වශයෙන් ත්‍රිවිධ යැ.

 

(iii) ආය නම් වැඩීම ය. එය අනර්‍ථ නැසීම ය, අර්‍ථය ඉපදවීම ය, යන මේ වශයෙන් දෙ වැදෑරුම් වේ. එහි කුසල භාවය ආයකොසල්ල නම.

එයින් වදාළහ.

 

“තත්‍ථ කතමං ආයකොසල්ලං, ඉමෙ ධම්මෙ මනසි කරොතො අනුප්පන්නාචෙව අකුසලාධම්මා න උප්පජ්ජනති. උප්පන්නාච අකුසලාධම්මා පහීයන්ති. ඉමෙ වා පන ධම්මෙ මනසි කරොතො අනුප්පන්නා චෙ ව කුසලාධම්මා උප්පජ්ජන්ති. උප්පන්නාච කුසලා ධම්මා භීයොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තන්ති. යා තත්‍ථ පඤ්ඤා පජානනා අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ඉදං වුච්චති ආයකොසල්ලන්ති.”[460]

 

‘එහි ආයකෝසල්ල නම් කිම’ මේ ධර්‍මයන් මෙනෙහි කරන්නහුට නූපන් අකුසල් නූපදී නම්, උපන් අකුසල් ප්‍ර‍හීන වේ නම්, නූපන් කුසල් උපදී නම්, උපන් කුසල් වැඩීමට - මහත් බවට - භාවනාවෙන් සම්පූර්‍ණ බවට යේ නම්, එහි ලා යම් දැනීමෙක් ප්‍ර‍කට කොට දැනීමේක - නුමුළා බවෙක් - ඒ ධර්‍ම විනිශ්චය කිරීමෙහි දක්‍ෂ බවෙක් - සම්‍යක් දෘෂ්ටියෙක් වේ නම්’ ඒ ආයකෝසල්ල නම.

 

අපාය නම් පිරිහීම ය, හෙද ද්විවිධ ය. අර්‍ථය පිරිහීම ය. අනර්‍ථය ඉපදීම ය, යන මොවුන් ගේ වශයෙනි.

 

එයින් වදාළහ.

 

“තත්‍ථ කතමං අපාය කොසල්ලං ඉමෙ ධම්මෙ මනසි කරොතො අනුප්පන්නාචෙව කුසලා ධමමා නූප්පජ්ජන්ති[461] මේ ධර්‍මයන් මෙනෙහි කරන්නහුට නූපන් කුසල් නූපදී නම් - යනාදිය යි. මේ අපායකොසල්ල නමි.

 

සියලු හිතසුව නිපදවීමට හේතු වූ ඒ ඒ ධර්‍මයන් ගේ ඉපදවීමට හේතු කාරණයෙහි එකෙණෙහි පැවැති ස්ථානොචිත සේ නිපැත්මෙහි දක්‍ෂ නිපුණ බව උපාය කෞශල්‍යාය යි.

 

එයින් වදාළහ.

 

“සබ්බාපි තත්‍රැපායාපඤ්ඤා උපායකොසල්ලන්ති”[462] ඒ ඒ කටයුත්තෙහි උපාය කෞශල්‍ය වූ යම් ප්‍ර‍ඥාවක් වේ නම්, ඒ සියලු ප්‍ර‍ඥාව උපාය කෞශල්‍යය නම.

 

මෙසේ ආය-අපාය-උපාය කොසල්ල වශයෙන් ත්‍රිවිධ ය. මේ තෘතීය ත්‍රිකය යැ.

 

(iv) තමා ගේ රූපාදි ස්කන්‍ධයන් නුවණින් ගෙන පටන් ගන්නා ලද විදර්‍ශනාප්‍ර‍ඥාව - අජ්ඣත්තාභිනිවෙසය (තමා සතන්හි පිළිපැදීම කරන්නා වූ) ප්‍ර‍ඥා ය.

 

මෙරමා ගේ රූපාදි පඤ්චස්කන්ධයෙහි හෝ බැහැර අනින්‍ද්‍රිය බද්ධ රූප හෝ නුවනින් මෙනෙහි කොට පටන් ගත් විදර්‍ශනා ප්‍ර‍ඥාව බහිද්‍ධාභිනිවෙශ (බාහිර සන්තානයෙහි නුවණ පිහිටුවීමෙන් පිළිපදනා) ප්‍ර‍ඥා නම් වේ.

 

අධ්‍යාත්ම බාහිර දෙපක්‍ෂයම නුවණින් ගෙන පිහිටුවන ලද්දේ අධ්‍යාත්ම - බාහිරාභිනිවේශප්‍ර‍ඥාය යි. මෙසේ අධ්‍යාත්මාභිනිවෙශාදි වශයෙන් ප්‍ර‍ඥාව ත්‍රිවිධ වේ. මේ ත්‍රිවිධ ප්‍ර‍ඥා භේදය යි.

 

(5) චතුෂ්කයන් අතුරින් ප්‍ර‍ථම චතුෂ්කයෙහි:

(i) දුක්ඛ සත්‍යය අරමුණු කොට පවත්නා ප්‍ර‍ඥාව දුඃඛ සත්‍යය දැනගන්නා ප්‍ර‍ඥාව ය.

දුඃඛසමුදය අරභයා පවත්නා ප්‍ර‍ඥාව දුඃඛසමුදය සත්‍යය දැනගන්නා ප්‍ර‍ඥාව ය.

දුඃඛ නිරොධය අරමුණු කොට පවත්නා ප්‍ර‍ඥාව දුඃඛ නිරොධ සත්‍යය දැනගන්නා ප්‍ර‍ඥාව ය.

දුඃඛ නිරොධ ගාමිනී ප්‍ර‍තිපදාව අරමුණු කොට පවත්නා ප්‍ර‍ඥාව දුඃඛ නිරොධ ගාමිනී ප්‍ර‍තිපදා සත්‍යය දැනගන්නා ප්‍ර‍ඥාව යැයි මෙසේ චතුස්සත්‍ය විෂයෙහි පැවති ප්‍ර‍ඥාවගේ වශයෙන් ප්‍ර‍ඥාව චතුර්විධ වේ.

 

(ii) අර්‍ථ-ධර්‍ම-නිරුක්ති-ප්‍ර‍තිභාන යන සතරෙහි ප්‍රභෙදගත ප්‍ර‍ඥාව සතරප්‍ර‍තිසම්භිදා ප්‍ර‍ඥා නමි.

 

එයින් වදාළහ.

 

“අත්‍ථෙ ඤාණං අත්‍ථ පටිසම්භිදා, ධම්මෙඤාණං ධම්මපටිසම්භිදා, ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්ති පටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභාන පටිසම්භිදා[463]

 

අර්‍ථයෙහි ඥානය අර්‍ථප්‍ර‍තිසම්භිදා යැ.

ධර්‍මයෙහි ඥානය ධර්‍මප්‍ර‍තිසම්භිදා යැ.

(අර්‍ථ ධර්‍ම දෙක්හි වූ) නිරුක්තියෙහි ඤාණය නිරුක්ති ප්‍ර‍තිසම්භිදා යැ.

ඒ ත්‍රිවිධ ඥානයෙහි ඥානය ප්‍ර‍තිභාන ප්‍ර‍තිසම්භිදා යි.

 

මෙහි අර්‍ථ නම් සැකෙවින් හේතුඵලයට නමි. ඒ එසේ මැයි හේතුඵලය ‘හේතු අනුසාරයෙන් පමුණුවන ලැබේනුයි’ හෝ ‘අධිගමය කරනු ලැබේනුයි’ හෝ අර්‍ථය යි කියනු ලැබේ.

 

ප්‍රභේද වශයෙන්න වනාහි ප්‍ර‍ත්‍යයෙන් නිපන් ඵල ධර්‍ම ය. නිර්‍වාණය, භාෂිත සඞ්ඛ්‍යාත වචනයා ගේ අර්‍ථය, විපාකය ක්‍රියාය යන මේ පස අර්‍ථ යැ. ඒ අර්‍ථ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නහු ගේ එහි ප්‍රභේද ගත ඥානය අර්‍ථප්‍ර‍තිසම්භිදා නම් වේ.

 

ධර්‍ම යනු සඞ්ක්‍ෂේපයෙන් ප්‍ර‍ත්‍යයට නමි. යම් හෙයකින් ප්‍ර‍ත්‍යය ඒ ඒ දැය විධාන කෙරේ ද, පවත්වා ද, පමුණුවා ද, එහෙයින් ධර්‍මය යි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් වනාහි ඵල නිපදවන්නා වූ හේතුය. ආර්‍ය්‍යමාර්‍ගය, භාෂිතය, කුශලය, අකුශලය යන පඤ්ච ධර්‍මය හේතු නම් වේ.

 

විශේෂ :- මාර්‍ගය සම්ප්‍රාපක හේතුත්‍වයෙන් ද

භාෂිතය ඥාපක හේතුත්‍වයෙන් ද

ඵලනිර්වර්කහේතුය, කුශලය, අකුශලය,

යන මොහු නිර්වර්කහේතුත්‍වයෙන් ද ගනු ලැබෙති.

 

ඒ හේතු සඞ්ඛ්‍යාත ධර්‍මය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නහු ගේ එහි ප්‍රභෙද ගත ඥානය ධර්‍මප්‍ර‍තිසම්භිදා නම.

 

මේ අර්‍ථ - ධර්‍ම දෙක අභිධර්‍මයෙහි ද මෙසේ විභාග කොට වදාළහ. “දුක්ඛ සඞ්ඛ්‍යාත ඵලයෙහි ඤාණය ධර්‍මප්‍ර‍තිසම්භිදා ය. දුක්ඛ නිරොධයට කාරණ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත ඵලයෙහි ඤාණය අර්‍ථ ප්‍ර‍තිසම්භිදා නම. දුක්ඛ නිරොධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට හේතු වූ මාර්‍ගයෙහි ඤාණය ධර්‍ම ප්‍ර‍තිසම්භිදා නම. හේතුයෙහි ඤාණය ධර්‍ම ප්‍ර‍තිසම්භිදා නම. හේතුහු ගේ ඵලයෙහි ඤාණය අර්‍ථප්‍ර‍තිසම්භිදා නම. යම් ධර්‍ම කෙනෙක් හටගත්තාහු වූ, වූනහු ද, හේතුසමවායයෙන් හටගත්තාහු ද, උපන්නාහු ද, විශේෂයෙන් උපන්නාහු ද, පහළ වූවාහු ද, මේ ඵලධර්‍මයෙහි ඥානය අර්‍ථප්‍ර‍තිසම්භිදා ය. යම් හේතුධර්‍මයකින් ඒ ඵල ධර්‍මයෝ හටගත්තාහු නම්, නිපන්නාහු නම්, විශේෂයෙන් නිපන්නාහු නම්, පහළ වූවාහු නම් ඒ හේතු ධර්‍මයෙහි ඥානය ධර්‍මප්‍ර‍තිසම්භිදා නම. ජරා - මරණ දෙක්හි ඤාණය අර්‍ථප්‍ර‍තිසම්භිදා නම. ජාතියෙහි ඤාණය ධර්‍මප්‍ර‍තිසම්භිදා නම. කර්‍ම භවයෙන් නිපන් ජාතියෙහි ඤාණය අර්‍ථප්‍ර‍තිසම්භිදා නම. ජාතියට හේතු වූ කර්‍ම භවයෙහි ඤාණය ධර්‍මප්‍ර‍තිසම්භිදා නම.”

 

මෙසේ උපාදාන, තෘෂ්ණා, වේදනා, ඵස්ස, ෂඩායතන, නාම, රූප, විඥාන, සඞ්ඛාර යන මෙහි පැවැති ඤාණය අර්‍ථප්‍ර‍තිසම්භිදා නම. සඞ්ඛාර සමුදයයෙහි ඤාණය ධර්‍මප්‍ර‍තිසම්භිදා නම.

 

එසේම ජරාමරණ නිරෝධයෙහි ඤාණය අර්‍ථප්‍ර‍තිසම්භිදා නම. ජරා මරණ නිරොධගාමිනී ප්‍ර‍තිපදායෙහි ඤාණය ධර්‍මප්‍ර‍තිසම්භිදා යි.

 

මේ අනුවැ සංස්කාර නිරෝධයෙහි ඤාණය අර්‍ථප්‍ර‍තිසම්භිදා නම. සංස්කාර නිරෝධගාමිනී ප්‍ර‍තිපදායෙහි ඤාණය ධර්‍ම ප්‍ර‍තිසම්භිදා නම.

 

එමැ වදාළහ. “දුක්ඛෙ ඤාණං අත්‍ථපටිසම්භිදා, දුක්ඛ සමුදයෙ ඤාණං ධම්මපටිසම්භිදා, -හෙතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා, හෙතුඵලෙ ඤාණං අත්‍ථපටිසම්භිදා, යෙ ධම්මා ජාතා භූතා සඤ්ජාති නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා ඉමෙසු ධම්මෙසු ඤාණං අත්‍ථපටිසම්භිදා, යම්හා ධම්මා තෙ ධම්මා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා තෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා -පෙ- සඞ්ඛාර නිරොධෙ ඤාණං අත්‍ථ පටිසම්භිදා, සඞ්ඛාර නිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්ම පටිසම්භිදා”[464] යි.

 

තවද “ඉධභික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්‍යං -පෙ- වේදල්ලං අයං වුච්චති ධම්මපටිසම්භිදා, සො තස්සෙච භාසිතස්ස අත්‍ථං ජානාති අයං ඉමස්ස භාසිතස්ස අත්‍ථො අයං ඉමස්ස භාසිතස්ස අත්‍ථොති. අයං වුච්චති අත්‍ථපටිසම්භිදා, කතමෙ ධම්මා කුසලා. යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්තං හොති. -පෙ- ඉමෙ ධම්මා කුසලා. ඉමෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්‍ථ පටිසම්භිදා”[465]

 

‘මේ ශාසනයෙහි යම් භික්‍ෂුවක් සුත්ත-ගෙය්‍ය-පෙ- වේදල්ල යන ධර්‍මය දනී ද, ඒ දැනීම ධර්‍මප්‍ර‍තිසම්භිදා නම. හෙතෙමේ මේ භාසිතා ගේ අර්‍ථය මේ ය, මේ භාසිතයාගේ අර්‍ථය මේ යැයි ඒ ඒ භාසිතයාගේ අර්‍ථය දන්නේ වේ නම් ඒ අර්‍ථප්‍ර‍තිසම්භිදා යි.

 

“එහි කුසල ධර්‍මයෝ කවරහු ද, යම් කලෙක කාමාවචර කුසල් සිතක් උපන්නේ වී නම් මේ ධර්‍ම කුසල් ය. ඒ කුශල ධර්‍මයන්හි ප්‍රභේද ගත ඤාණය ධර්‍මප්‍ර‍තිසම්භිදා යැ. ඒ කුසල විපාකයන් ගේ ඤාණය අර්‍ථ ප්‍ර‍තිසම්භිදායැ”යි මේ ආදි ක්‍ර‍මයෙන් බෙදා දැක් වී.

 

අර්‍ථයෙහි ද, ධර්‍මයෙහි ද, අවිපරීත ස්වභාවය වූ මාගධික භාෂා සඞ්ඛ්‍යාත ස්වභාව නිරුක්තිය යැ. ඒ ව්‍යවහාරාභිලාපනයෙහි ද, උදීරණයෙහි ද, ඒ ව්‍යවහාරය අසා ‘මේ ස්වභාව නිරුක්තිය යැ.

 

ඒ ස්වභාව නිරුක්තිය නොවේ ය’ යි මෙසේ ඒ ස්වභාව නිරුක්තිය වූ මාගධ භාෂායෙහි ප්‍රභේද ගත ඤාණය නිරුක්ති ප්‍ර‍තිසම්භිදා යැ.

 

නිරුක්තිප්‍ර‍තිසම්භිදාවට පැමිණියේ “ඵස්සො, වේදනා” යනාදි ශබ්ද අසා මේ අවිපරිත ව්‍යවහාරය යි ද, “ඵස්සා, වෙදනො” යනාදිය අසා ‘මේ ස්වභාව නිරුක්තිය නොවේය යි ද දැනගනී.

 

අර්‍ථ-ධර්‍ම-නිරුක්ති යන මේ ඥානයන්හි ඥානය ප්‍ර‍තිභාන-ප්‍ර‍තිසම්භිදා යැ. නොහොත් ඒ තුන් ආකාර ඥාන විෂයෙහි මේ ඤාණයට මෙ නම් ගෝචර කෘත්‍යාදියක් ඇතැ යි, මෙසේ විස්තර වශයෙන් දැනීම ප්‍ර‍තිභානප්‍රතිසම්භිදා යි.

 

මේ සිවුපිළිසිඹියාවෝ ශෛක්‍ෂභුමිය යි කියන ලද සෝවාන් ආදි මාර්‍ග සතරෙහි හා ඵල තුනෙහි ද අශෛක්‍ෂභුමිය යි කියන ලද අර්‍හත් ඵලයෙහි ද, යන ස්ථාන දෙකෙහි ප්‍රභේදගත වේ. ඔවුනතුරින් අග්‍ර‍ශ්‍රාවක මහාශ්‍රාවකයන් ගේ සිවුපිළිසිඹියාවෝ අශෛක්‍ෂභුමියෙහි ම ප්‍රභේදගත වෙති. ආනන්‍ද ස්ථවිර, චිත්තගහපති, ධම්මිකඋපාසක, ඛුජ්ජුත්තරාඋපාසිකා ආදීන් ගේ සිවුපිළිසිඹියාවෝ ශෛක්‍ෂභුමියෙහි ප්‍රභේදගත වූහ.

 

මෙසේ මේ ද්වි භූමියෙහි ප්‍රභෙදගත වන්නාහු ද

1.     අධිගමය,

2.    පර්‍ය්‍යාප්තිය,

3.     ශ්‍ර‍වණය,

4.    පරිපුච්ඡාය,

5.    පූර්‍වයෝගය,

යන පස් ආකාරයෙන් මේ සිවුපිළිසිඹියාවෝ විසද වෙති.

 

1.     මෙහි අධිගම නම් අර්‍හත්‍වයට පැමිණීම ය.

2.    බුද්ධ වචනය ප්‍ර‍ගුණ කිරීම පර්‍ය්‍යාප්තිය ය.

3.     මනාව අර්‍ථවත් කොට සද්ධර්‍ම ශ්‍ර‍වණය ශ්‍ර‍වණ නමි.

4. පෙළ අටුවාදීන්හි ගැටපද, අර්‍ථපද ආදිය පිළිබඳ විනිශ්චය කථාව විචාරීම පරිපුච්ඡා ය.

5. පෙර බුදුවරයන් ගේ ශාසනයන්හි ගත - පච්චාගතාදි වශයෙන් භාවනා වඩා අනුලෝම - ගෝත්‍ර‍භු ඤාණයන් සමීපයෙහි වූ මුඤ්චිතුකම්‍යතා - පටිසඞ්ඛාණ - සඞ්ඛාරුපෙක්ඛා ඤාණය තෙක් විදර්‍ශනාවෙහි උත්සාහවත් වීම පූර්‍වයෝග නමි.

 

තවද ආචාර්‍ය්‍ය මතයෙහි

“පුබ්බයොගො බාහුසච්චං - දෙස භාසාව ආගමො

පරිපුච්ඡා අධිගමො - ගරුසන්තිස්සයො තථා

මිත්ත සම්පත්ති මෙවාති - පටිසම්භිදා පච්චයා[466]

 

(1)   පූර්‍වයොගය,

(2)  බහුශ්‍රැත භාවය,

(3)   දේශභාෂා දැනීමය,

(4)  ත්‍රිපිටකය දැනීමය,

(5)   ත්‍රිපිටකාර්‍ථ විචාරීමය,

(6)   සතර ඵලය,

(7)   බහුශ්‍රැත ගුරුවරුන් සෙවීමය,

(8) තියුණු ප්‍ර‍තිභාග ඇති කල්‍යාණ මිත්‍ර‍යන් ඇසුරු කිරීමය යන මේ කරුණු අට ප්‍ර‍තිසම්භිදාවට උපකාර ධර්‍මයෝ යි.

 

මෙහි පූර්‍වයෝගය යට කී සේයැ.

 

හිත වැඩ පිණිස පවත්නා නිවරද ශාස්ත්‍ර‍න්හි හා ශිල්පයන්හි දක්‍ෂ බව බහුශ්‍රැතත්‍වය යි.

 

සාමාන්‍යයෙන් එකල දඹදිව පැවති එක්සිය එකක් රාජ්‍යයන්හි ව්‍යවහාර වූ එපමණ දේශභාෂා දැනීම ද, විශේෂයෙන් මාගධි භාෂාවෙහි දක්‍ෂ බව ද, දේශභාෂා නම.

 

යටත් පිරිසෙයින් මැඳුම් සඟිය මූලපණ්ණාසකයෙහි ඔපම්මවග්ගය[467] පමණවත් ධර්‍මය පිරවීම ආගම යැ.

 

එක් ගාථාවකුදු අර්‍ථ විනිශ්චය පිළිවිසීම පරිපුච්ඡා නම,

 

සෝවාන් - ශකෘදාගාමි - අනාගාමි - අර්‍හත් බව අධිගම යැ.

 

බහුශ්‍රැත ප්‍ර‍තිභාන සම්පන්න ආචාර්‍ය්‍යයන් වෙතින් දුෂ්කර තැන් විචාරමින් ඇසුරු කිරීම ගුරුසන්නිඃශ්‍ර‍ය නමි,

 

එබඳු වූ කළණ මිතුරන් ඇසුරු කිරීම මිත්‍ර‍සම්පත්තිය යි.

 

විශේෂ:- පෙරකී පස් ආකාරයෙන් හෝ මේ අට ආකාරයන් අතුරින් බුදුවරයෝ ද, පසේබුදුවරයෝ ද පුබ්බයොග අධිගමයන් නිසා සිවුපිළිසිඹියාවන්ට පැමිණෙති. බුද්ධ ශ්‍රාවකයෝ මේ සියලු කාරණයන් නිසාම පැමිණෙත්. සිවුපිළිසිඹියාවන්ට පැමිණීම සඳහා වෙනම කමටහන් වැඩීමෙක් නම් නැති ශෛක්‍ෂයන්ගේ ශෛක්‍ෂඵල (සෝවාන් - සකෘදාගාමි - අනාගාමි ඵල) අවසානයෙහි ද, අශෛක්‍ෂයන් ගේ අර්‍හත් ඵල අවසානයෙහි පිළිසිඹියා පැමිණීම වේ.

 

ඒ එසේමැ යි:- බුදුවරයන්ට දශබල ඥානය අර්‍හත්ඵලය නිසා සමෘද්ධවන්නා සේ සිව්පිළිසිඹියාවෝ ද සමෘද්‍ධ වෙති. ආර්‍ය්‍යයන්ගේ ආර්‍ය්‍යඵලයන් මෙන් ම පිළිසිඹියාවෝසමෘද්ධ වෙත් යයි ‘මේ සිවුපිළිසිඹියා වශයෙන් සතරාකාරවේ ය’යි කියන ලදී.

 

5. විදර්‍ශනා ප්‍ර‍ඥාව වැඩිය යුතු පරිදි, මෙහි ලා මේ විදර්‍ශනා ප්‍ර‍ඥාවට ස්කන්‍ධ-ආයතන-ධාතු-ඉන්‍ද්‍රිය-සත්‍ය-ප්‍ර‍තීත්‍ය සමුත්පාදා දි භේද ඇති ධර්‍ම උපකාර හෙයින් භූමි වේ.

 

ප්‍ර‍ශ්නයෙකි :- මේ එක භූමිය සඳහා බොහෝ ධර්‍මයන් දැක්වූයේ කවර හෙයින් ද

 

පිළිතුර :- අරූපයෙහි මුළා වූ සත්ත්‍වයන් සඳහා අරූප ධර්‍මයන් සතර කොටසක් ඇති ස්කන්‍ධ දෙශනයෙන් ද,

 

රූපයෙහි මුළාවූවන් සඳහා අඩ එකොළොසක් රූප කොටස් ඇති ආයතන දේශනයෙන්

 

උභය මුළාවූවන් සඳහා නාමය සප්ත විඥාන ධාතුවෙන් හා රූපය එකොළොස් ආකාරයක් වූ ධාතු දේශනයෙන් ද බෙදා දැක්වූහ.

 

එසේ ම තික්ඛින්‍ද්‍රිය, මජ්ඣිමින්‍ද්‍රිය, මුදින්‍ද්‍රිය වශයෙන් ද, සංක්‍ෂේපරුචික, මධ්‍යමරුචික, විස්තාර රුචිකයන්ගේ වශයෙන් ද, පිළිවෙලින් ස්කන්‍ධ, ආයතන, ධාතු බෙදා දැක්වූහ.

 

ඉන්‍ද්‍රිය දේශනාව ද ඊශ්වර නිර්‍මාණ වාදයෙන් ආත්ම දෘෂ්ටියෙහි මුළා වූවන් සඳහා ය. මේ ඉන්‍ද්‍රිය ධර්‍මයේ සහජාත ධර්‍මයන් කෙරෙහි ඒ ඒ ධර්‍මයන් ගේ ස්වභාව වශයෙන් සිද්ධවන බව හා කිසිවකුගේ ඊශ්වර (අධිපති) බවක් හෝ වශී භාවයක් හෝ නැති හෙයින් ඊශ්වරත්‍වයෙන් ශුන්‍යයහ යි අනාත්ම ලක්‍ෂණය සුවසේ ගැන්වීම සඳහා වදාරන ලද්දේ ය.

 

මේ ස්කන්‍ධ-ආයතන-ධාතු-ඉන්‍ද්‍රිය යන සතර ධර්‍මයන් ගේ පැවැත්ම ය, වැළැක්ම ය, පැවැත්මේ හේතුව ය, වැළැක්මේ හේතුව ය යන සතර ධර්‍මයන් ගේ වශයෙන් වදාරන ලද හෙයින් මෙහිලා උපකාර වේනු යි, ඒ සඳහා අවසානයෙහි සත්‍ය-ප්‍ර‍තීත්‍ය-සමුත්පාද ද්වය වදාරන ලදී. මේ ටිකාගත විස්තරය යි.

 

සීල විසුද්ධි-චිත්ත විසුද්ධි දෙක මූලයෝ ය. සෙසු පඤ්ච විසුද්ධීන් ගේ පිහිටීමට උපකාර (හෙතු) වන හෙයිනි.

 

දිට්ඨිවිසුද්ධි, කඞ්ඛාවිතරණවිසුද්ධි, මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි, පටිපදා ඤාණදස්සනවිසුද්ධි, ඤාණදස්සනවිසුද්ධි යන පස ශරීරය යැ. (භාවනා වශයෙන් වඩන ලද මේ පස ප්‍ර‍ඥා පරම්පරාවෙන් පවත්වන කල හස්ත-පාද-ශීර්‍ෂස්ථාන වශයෙන් උපමා කොට අවයවයෙන් යුත් ශරීරයැ යි හඳුන්වනු ලැබෙන හෙයිනි.)

 

එහෙයින් ‘භූමි වූ’ ස්කන්‍ධාදි ධර්‍මයන් ගේ අර්‍ථ හා පාළිය ඉගෙන නුවණින් පුරුදු කොට ‘මූල වූ’ ධර්‍ම සම්පූර්‍ණ කොට ‘ශරීර වූ’ පඤ්ච විශුද්ධීන් වඩා ප්‍ර‍ඥා භාවනාව සිද්ධ කළ යුතු වේ.

 

මේ වැඩිය යුත්තේ කෙසේ ද යන්නෙහි සංක්‍ෂේප කථාව යැ.

 

මේ විස්තරය :- ‘යට ස්කන්‍ධ, ධාතු, ආයතන, ඉන්‍ද්‍රිය, සත්‍ය, ප්‍ර‍තීත්‍යසමුත්පාදාදි ධර්‍ම භුමිය’යි කී තන්හි

 

ස්කන්‍ධ නම් :-

(1) රූපක්ඛන්‍ධය

(2) වෙදනාක්ඛන්‍ධය

(3) සඤ්ඤාක්ඛන්‍ධය

(4) සඞ්ඛාරාක්ඛන්‍ධය

(5) විඤ්ඤාණක්ඛන්‍ධය යන මේ පසයි.

 

1. රූපස්කන්‍ධය, ශීත-උෂ්ණාදි විරුද්ධ ප්‍ර‍ත්‍යය නිසා විපරීත භාවයට පැමිණෙන යම් පමණ ධර්‍ම සමූහයක් වේ නම් ඒ සියල්ල එක්කොට රූපස්කන්‍ධය යි දත යුතු යි. (විරුද්ධ ධර්‍මයන් නිසා විකාරවීම් අරූප ධර්‍මයන්හි ද ඇතත්, ප්‍ර‍කටව විපරීත වීමක් එහි නැති හෙයින් රූප විෂයෙහි නො ගැනේ.)

 

එයින් වදාළහ :- “රුප්පතිතිබො භික්ඛු තස්මාරූපන්ති වුච්චති”[468]

 

බ්‍ර‍හ්ම ලෝකයෙහි ශීත-උෂ්ණාදි විරුද්ධ ප්‍ර‍ත්‍යය නැත ද අනුග්‍රාහක ශීතොෂ්ණාදිය ඇති බැවින් එහි ද රුප්පන භාවය ඇති හෙයින් රූප ව්‍යවහාර වේ. මෙසේ රුප්පන ලක්‍ෂණයෙන් සියලු රූපය එකවිධ වුව ද

 

i.       භූත රූප

 

ii.     උපාදා රූප වශයෙන් ද්විධ වේ.

 

i.එහි භූත රූප පඨවි, ආපෝ, තෙජෝ, වායෝ වශයෙන් සතර වැදෑරුම් වේ.

 

ඒවායේ ලක්ඛණ, රස, පච්චුපට්ඨාන චතුධාතුවවත්‍ථානයෙහි කී පරිදි දත යුතු. (එහි පදට්ඨාන නො කියන ලදී.) පදට්ඨාන වශයෙන් ඒ සියල්ලම අවශේෂ ධාතු ත්‍ර‍ය පදට්ඨාන කොට ඇති. පඨවි ධාතුව ආපෝ ධාතුවෙන් සංගෘහීතවැ, තේජෝ ධාතුවෙන් පාලනය කරන ලදුවැ, වායෝ ධාතුවෙන් පුරන ලදුවැ පවතී. මෙසේ පඨවි ධාතුව සෙසු භූත ත්‍ර‍ය ආසන්න කාරණකොට පවතී. සෙසු ධාතුහු ද, අවසේස භූතයන් ආසන්න කාරණකොට පවතිත්.

 

උපාදාරූප (1) චක්ඛු (2) සෝත (3) ඝාණ (4) ජිව්හා (5) කාය (6) රූප (7) සද්ද (8) ගන්‍ධ (9) රස (10) ඉත්‍ථීන්‍ද්‍රිය (11) පුරිසින්‍ද්‍රිය (12) ජීවිතින්‍ද්‍රිය (13) හදයවත්‍ථු (14) කායවිඤ්ඤත්ති (15) වචීවිඤ්ඤත්ති (16) ආකාසධාතු (17) රූපයාගේ ලහුතා (18) මුදුතා (19) කම්මඤ්ඤතා (20) උපචය (21) සන්තති (22) ජරතා (23) අනිච්චතා (24) කබලීකාර ආහාරය යි සූ විස්සෙකි. (24) මොවුන් ගේ එකක් පාසා ලක්‍ෂණාදිය මෙසේ යි.

 

(1) චක්ඛුව - මේ චක්‍ෂුප්‍ර‍සාදය රූපාලම්බනයා ගේ ගැටීමට සුදුසු සේ මහා භූතයන් ගේ ප්‍ර‍සාදය හෝ රූප දැකීමෙහි කැමැත්ත මුල් කොට ඇති තෘෂ්ණාවෙන් යුත් කර්‍මයෙන් නිපන් මහාභූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණ කොට ඇත්තේ ය. රූපාලම්බනයෙහි විඤ්ඤාණය ඇද ගැනීම එහි කෘත්‍යය ය. චක්ඛු විඤ්ඤාණයට ආධාර භාවය වැටහෙන ආකාරය, දක්නා කැමැත්ත නිදන කොට ඇති කර්‍මජභූත ආසන්න කාරණ යි.

 

(2) සෝතය - ශබ්දාලම්බනයේ ගැටීමට සුදුසු මහාභූතයන් ගේ ප්‍ර‍සාදය හෝ ශබ්ද ඇසීමේ කැමැත්ත නිදාන කොට පැවැති කර්‍මජ භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණ කොට ඇත්තේ ය. ශබ්දාලම්බනයෙහි විඤ්ඤාණය ඇද ගැනීම කෘත්‍යය ය. ශ්‍රෝත්‍ර‍ විඥානයට ආධාර බාවය වැටහෙන ආකාරය, ශබ්ද අසනු කැමැත්ත නිදාන කොට ඇති කර්‍මජභූත ආසන්න කාරණ යි.

 

(3) ඝාණය - ගන්‍ධාලම්බනයා ගේ ගැටීමට සුදුස මහා භූතයන් ගේ ප්‍ර‍සාදය හෝ ගන්‍ධාඝ්‍රාණය කිරීමේ කැමැත්ත නිදාන කොට ඇති කර්‍මජ භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණ කොට ඇත්තේ ය. ගන්‍ධාලම්බනයෙහි විඤ්ඤාණය ඇදගැනීම කෘත්‍යය ය. ඝ්‍රාණ විඥානයට ආධාර භාවය වැටහෙන ආකාරය. ගන්‍ධ ආඝ්‍රාණය කැමැත්ත නිදාන කොට ඇති කර්‍මජ භූත ආසන්න කාරණ යි.

 

(4) ජිව්හාව - රස ලම්බනයෙහි ගැටීමට යෝග්‍ය මහාභූතයන් ගේ ප්‍ර‍සාදය (රසය ආස්වාදනය කිරීමේ කැමැත්ත නිදාන කොට ඇති කර්‍මයෙන් නිපන් භූතයන් ගේ ප්‍ර‍සාදය) ලක්‍ෂණකොට ඇත්තේ ය. රසාලම්බනයෙහි විඥානය ඇදගැනීම එහි කෘත්‍යය ය. ජිහ්වා විඥානයට ආධාරවීම වැටහෙන ආකාරය, රසාස්වාදන කැමැත්ත නිදාන කොට ඇති කර්‍මජ භූත ආසන්න කාරණ යි.

 

(5) කායය - ස්පර්‍ශාලම්බනයා ගේ ගැටීමට සුදුසු මහා භූතයන් ගේ පැහැදීම හෝ ස්පර්ශ තෘෂ්ණාව නිදාන කොට ඇති කර්‍මජ භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණකොට ඇත්තේ ය. ස්පර්‍ශාලම්බනයෙහි විඥානය ඇදගැනීම එහි කෘත්‍යය ය. කාය විඥානයට ආධාර බව වැටහෙන ආකාරය ස්පර්‍ශතෘෂ්ණාවෙන් යුත් කර්‍මයෙන් නිපන් මහාභූත ආසන්න කාරණා යි.

 

(විඥානාධිස්ථිතවැ රූපාලම්බනය ආස්වාදය කරන්නාක් මෙන් වූයේ චක්ඛු නමි. මේ කරණකොට අසානු යි සොත නමි. මේ කරණකොට ආඝ්‍රාණය කෙරේනුයි ඝ්‍රාණ නමි. ජීවිත නිමිත්ත වූ ආහාරය (රසය) ජීවිතය යි. එය කැඳවානු යි ජිව්හා නමි. කුත්සිත (සාසව) ධර්‍මන්ට උත්පත්ති ස්ථාන වූයේ කාය නමි.)

 

මතභේද :- (i) මහාසඞ්ඝිකයෝ :- චක්ඛුප්පසාදය තේජෝ ධාතුව අධිකකොට ඇති භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණකොට ඇත්තේ යයි ද, සෝත-ඝාණ-ජිව්හා ප්‍ර‍සාදයෝ පිළිවෙළින් වායු-පඨවි-ආපෝ ධාතුන් අධිකකොට ඇති භූතයන්ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණකොට ඇත්තාහයි ද, කාය ප්‍ර‍සාදය සමව පැවති සතර මහාභූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණකොට ඇත්තේ යයි ද කියති.

 

(මේ සුධම්ම[469] තෙරුන් ගේ මතය අනුවැ චක්ඛුවෙහි තේජෝ ධාතුව අධික යැයි ද, සෝත-ඝාණ-ජිව්හාවන්හි වායු-පඨවි-ආප අධික යැයි ද, කාය ප්‍ර‍සාදයේ සතරම අනුනාධික වැ පවතී යයි ද කියන ලද්දේ වේ.)

 

(ii) අභයගිරිකයෝ :- චක්‍ෂුඃප්‍ර‍සාදය තේජෝධාතුව අධික කොට ඇති සෙසු ධාතුන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණකොට ඇතැයි ද, සෝත-ඝාණ-ජිව්හා-කාය ප්‍ර‍සාදයෝ ක්‍ර‍මයෙන් (විවර) ආකාශ-වායු-ආප-පඨවි අධික කොට ඇති භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණ කොට ඇත්තාහයි ද, යෙති.

 

මෙසේ කියන ඔවුන්ට ‘එයට සාධක සූත්‍ර‍ (දෙශනා පාඨ) දැක්වුව මැනවැ’යි කිය යුතු ය. එබඳු දේශනයක් නැති හෙයින් ඔවුනට එබඳු නිදර්‍ශන දැක්විය නොහේ. එහෙත් ඔවුන් අතුරින් ප්‍ර‍ථමවාදීහු (පහන් සිළුවය යි කියන ලද) තේජෝ ධාතු ගුණය වූ ආලෝකයෙන් චක්‍ෂුඃප්‍ර‍සාදයා ගේ රූපාලම්බනය ගැනීමෙහි ද, වායෝධාතු ගුණය වූ ශබ්දයෙන් ශ්‍රෝත්‍ර‍යාගේ ශබ්දාලම්බනය ගැනීමෙහි ද, පඨවි ධාතු ගුණය වූ ගන්‍ධයෙන් ඝ්‍රාණයා ගේ ගන්‍ධාලම්බනය ගැනීමෙහි ද, බෙල නම් වූ ආපෝ ධාතු ගුණය වූ රසයෙන් දිවේ රසාලම්බනය ගැනීමෙහි ද, උපකාර කටයුතු බැවිනැයි ද යුක්ති දක්වති.

 

අපරවාදීහු ද සුදුසු පරිදි චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කායයන් ගේ රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්පර්‍ශාලම්බන ගැනීමෙහි ද, තේජෝ-ආකාශ-වායු-ආපෝ-පඨවි ධාතුහු පිළිවෙළින් උපකාර කටයුතු බැවිනැ යි ද යුක්ති දක්වති.

 

(ආලෝකය සහකාරී කාරණ කොට ඇත්තාවූ ම චක්‍ෂුෂ, රූපාලම්බන ගැනීමෙහි සමර්‍ථ වේ. කන්බිලයෙහි වූ විවාරාකාශය සහකාරී කාරණ කොට ඇති ශ්‍රෝත්‍ර‍ය ශබ්දාලම්බනය ගැනීමෙහි ද, වායුව සහකාරී කාරණ කොට ඇති ඝ්‍රාණ ප්‍ර‍සාදය ගන්‍ධාලම්බනය ගැනීමෙහි ද, පෘථිවිය සහකාරී කාරණ කොට ඇති කාය ප්‍ර‍සාදය ස්පර්‍ශාලම්බනය ඉපදවීමෙහි ද සමර්‍ථවේය’යි මෙසේ ඒ ඒ භූත ගුණයන් ඇසුරු කොට චක්‍ෂුර්විඥානාදිය උපදීය යි ඔවුන් ගේ මතය යි.)

 

ථෙරවාදීහු :- ‘රූපාදීහු තේජාදීන් ගේ ගුණයෝයැ’යි කවුරුන් කියන ලද්දේ ද වෙන් වෙන්ව නො පවත්නා මහා භූතයන් අතුරින් මෙය මේ භූත ගුණය ය (මෙය මේ මහා භූත ගුණය යි) කිව නොහෙන හෙයිනැයි යෙති.

 

කේවිවාදීහු :- එතෙකුදුවුවත් ඒ චතුසමුට්ඨානික රූප පරම්පරාවෙහි ඒ ඒ භූතයා ගේ අධික බැවින් පඨවි ආදීන් ගේ සහජාත වස්තූන් ධැරීම ය, බැඳීම ය, පැසවීම ය, සැලීමය යන සතර කෘත්‍යය යුෂ්මතුනුත් කැමති වන්නා සේ තේජාදීන් අධික කොට ඇති චතුසමුට්ඨානික රූප පරම්පරාවෙහි රූපාදීන් ගේ අධික බව දක්නා හෙයින් රූපාලම්බනාදිය තේජාදීන් ගේ ගුණය යි යුෂ්මතුන් කැමති විය යුතු යැ යි යෙති.

 

(“ගින්නෙහි බබළන සුලු රූපය ද, සුළඟෙහි ඇසෙන සුලු ශබ්දය ද, පොළොවෙහි සුවඳ ද, දියෙහි මිහිරි රසය දැ යි මොවුන් ගේ ඒ ඒ ගුණයන් හා යෙදුණා වූ රූප ශබ්දාදිය ඇති හෙයින් ය” යනු ඔවුන් ගේ පිළිගැනීම ය.)

 

ථෙරවාදීහු :- ‘ආපො අධික ආසවයෙහි ගන්‍ධයට වඩා පඨවි අධික කපු පුළුනෙහි ගන්‍ධය අධික වේ නම් හෝ; තේජෝ අධික උණු වතුරෙහි වර්‍ණයට වඩා සිහිල් දියෙහි වර්‍ණය අඩු වේ නම්, රූපාදිය තේජාදීන් ගේ ගුණය යි ඇපිදු පිළිගනිමුයැ’යි මෙසේ ඒ විරුද්ධවාදීනට පිළිතුරු දුන්හ.

 

එහෙත් කපු පුළුනෙහි ගන්‍ධයට වඩා ආසවයෙහි ගන්‍ධය අධික හෙයින් ද, උණු දියෙහි වර්‍ණයට වඩා සිහිල් දියෙහි වර්‍ණය අඩු නො වන හෙයින් ද, හෙවත් ඒ උභය කාරණයම නැති හෙයින් ඒ මතය නො පිළිගනිති.

 

(රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්පර්‍ශ විශේෂ ගුණයන් ගෙන් යුත් තේජෝ-ආකාස-පඨවි-ආප-වායූන්ගෙත් චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය ප්‍ර‍සාද සකස් කරන ලදැ යි කියන කනාද වාදයට ද මෙයින් ම නිග්‍ර‍හ කරන ලදැ යි ටීකාහි කී)

 

ඔවුන්ගේ වැළැක්මෙන්ම ‘චක්‍ෂුඃප්‍ර‍සාදාදිය රූපාලම්බනාදීන් ගේ හා තේජෝ ධාතු ආදීන් ගේ විශේෂ ගුණයෙකැ යි’ යන වාදය වළක්වයි. එසේ වැළැක්වීමෙන් ‘තේජෝ ධාතු ආදීන් ගේ ගුණ වූ රූපාදීන් විසින් අනුග්‍ර‍හ කළ යුතු බැවිනැ’යි යන හේතුව ද බිඳ වැටේ. එහෙයින් ‘ආශ්‍ර‍ය වූ මහාභූතයන් ගේ විශේෂයෙන් ප්‍ර‍සාද වෙතියි’ යන කල්පනාව බැහැර කරව්යැ යි යෙති.

 

එකම කලාපයෙහි වූ රූප ආදිය වෙනස් වේ නම් වෙන වෙන කලාපයෙහි වූ රූප-රසදිය ඒකාන්තයෙන් වෙනස් වේ මය එසේම චක්‍ෂුඃප්‍ර‍සාදාදිය අනෙක් විශේෂ කාරණයක් නැතත් ඔවුනොවුන් ගේ වෙනස වේ. කර්‍මයම එයට විශේෂ කාරණය යි. එහෙයින් ඔවුන් ගේ විශේෂයට හේතුව භූත විශේෂය නොව කර්‍ම විශේෂය යි. හුදෙක් භූත විශේෂය නම් ප්‍ර‍සාද නූපදනේ මැයි.

 

පෝරාණයෝ :- “සමානානංහි පසාදො නො විසමානං” ‘සමානයන්ගේ ම ප්‍ර‍සාදය වේ. විෂමයන් ගේ නොවේ ය’යි කීහ. ඒ එසේමැයි :- පෘථිවි ධාතු අධික වුව කැකුළු බව වේ. අප්ධාතු අධික වුව වැගිරේ. තේජෝධාතු අධිකවුව දවයි. වායොධාතු අධිකවුව විසිරේ. එහෙයින් ම ඒ ඒ ප්‍ර‍සාද නූපදී.

 

විශේෂ :- කාම භවයෙහි අණ්ඩජාදි යෝනීන්හි නා නා ක්‍ෂණික හෙයින් කර්‍ම විශේෂය වුව ද, කාමභවයෙහි ඕපපාතික යෝනියෙහි ද, රූප භවයෙහි ද එකම කර්‍මයෙන් සියලු ඉන්‍ද්‍රියයන්ගේ ම පහළ වීම වේ. රූප භවයෙහි එය විශේෂයෙන් ම වේ.

 

“පටිසන්‍ධික්ඛණෙ මහග්ගත චෙතනා කටත්තා රූපාන කම්ම පච්චයෙන පච්චයො”[470] ප්‍ර‍තිසන්‍ධි ක්‍ෂණයෙහි මහග්ගත චේතනාව කර්‍මජ රූපයන්ට කර්‍ම ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ ය’යි කීහ.

 

ඔවුනතුරෙන් චක්ඛු-සෝත දෙදෙන අසම්ප්‍රාප්ත විෂය ග්‍රාහකයෝ ය. අනල්ලීන විෂයයෙහි ම විඤ්ඤාණ උපදවන හෙයිනි. ඝ්‍රාණ - ජිහ්වා - කායයෝ සම්ප්‍රාප්ත විෂය ග්‍රාහකයෝ ය. අල්ලීනවිෂය යෙහිම විඤ්ඤාණ ඉපදීමට හේතුවන හෙයිනි.

 

(චක්ඛු-සෝත දෙදෙන අසම්ප්‍රාප්තාලම්බනය ම ගන්නා බවට තවද හේතු දක්වන ටීකා කාරයෝ යොදුන් ගණන් දුරෙහි වූ චන්‍ද්‍ර‍ සූර්‍ය්‍ය තාරකාදි රූපාලම්බනය අරමුණු කරන හෙයින් ද, පළිඟු වීදුරු ආදීන් අතර සිටි කල්හි ඉන් පිටත වූ රූපාලම්බනය ද අරමුණු කරන හෙයින් ද, චක්‍ෂුඃ ප්‍ර‍සාදය සම්ප්‍රාප්ත විෂය ග්‍රාහී නම් එහි ඇතුළත් විය හැකි පමණ ගත යුතු වේ. එහෙත් එයට වඩා විශාල වූ පර්‍වතාදිය අරමුණු කරන හෙයින් ද, ඇසෙහි ගෑ අඳුන් ආදිය හා ඇසෙහි හැපුණු දැය නො දක්නා හෙයින් ද, චක්‍ෂුඃ ප්‍ර‍සාදය අසම්ප්‍රාප්තාලම්බනයෙහි විඥානෝත්පාදනයට හේතුවන බව ද, ශ්‍රෝත්‍ර‍ප්‍ර‍සාදය ද සම්ප්‍රාප්ත ශබ්දායතනයන්ගේ ම ගැනීම වන්නේ නම් චිත්තජ විතක්ක විප්ඵාර ශබ්දය අරමුණු විය නොහේ. චිත්ත සමුත්‍ථාන ශබ්දය පිටත නො උපදින හෙයිනි. එසේම ඒ ඒ දිශා දේශයන්හි පවත්නා ශබ්දය අරමුණු වීමේ දී ඒ දිශා දේශයන්හි පවත්නාසේම ‘මේ ශබ්දය අසුවල් දේශයෙහි පවත්නේය යි, දේශාදිය ද, ව්‍යවස්ථානය වන හෙයින් ද, අහසෙහි වැහි වලාකුල් ආදිය අතර ඇති කල්හි මේඝ ශබ්දය ඇසෙන හෙයින් ද, ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය ද අසම්ප්‍රාප්ත ආලම්බනයෙහි විඥාන ඉපදවීමේ සමර්‍ථ බව ද නිශ්චිත ය.

 

i ප්‍ර‍ශ්නය :- පිටත පවත්නා ශබ්දයක් හෙවත් ඈත යමකට ගැසීමේ දී උපදනා ශබ්දය ළඟ සිටියවුන්ට එ කෙනෙහි ම ඇසෙතත් බැහැර වූවන්ට ප්‍ර‍මාද වැ ඇසීමේ හේතුව කිම? සම්ප්‍රාප්ත විෂය ග්‍ර‍හණය නිසා නොවේ ද

 

i පිළිතුර :- නොවේ. ශබ්දය ද රූප කලාපයෙකි. එය සිහින් වූ කල රූපකලාප අඩු වශයෙන් ද, මහත් වූ කල කලාප වැඩි වශයෙන් ද පවතී. කථා ශබ්දය මන්‍ද වුව ද, ළඟ සිටිනවුන්ට ප්‍ර‍කටව ද, බැහැර වූවන්ට අප්‍ර‍කටව ද, ඇසෙනුයේ එහෙයිනි. එසේම ශබ්දයා ගේ උත්පත්ති ක්‍ෂණයෙහි ම ළඟ සිටිනවුන්ට ඇසෙතත් දුරුවූවනට කලාප සන්තති වශයෙන් වැඩුණු ශබ්දයම ප්‍ර‍වෘත්ති අවස්ථාවෙහි (මධ්‍යම-අවසාන-අවස්ථාවන්හි) ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදයට අරමුණු වූ කල ශ්‍රෝත්‍ර‍ විඥාන වීථියෙන් ඔබ්බෙහි යම්තම් ඇසිණැයිද, කලකින් ඇසිණැයි ද හැඟීම උපදී.

 

ii ප්‍ර‍ශ්නය :- ශබ්දයා ගේ පරම්පරා වශයෙන් පැවැත්මක් නොවේ නම් පටිඝෝසය (දෝංකාරය) උපදිනුයේ කෙසේ ද?

 

ii පිළිතුර :- කාන්දම බැහැර වූ යකඩය සෙලවීමට සමර්‍ථ වන්නා සේ දුර පවත්නා ශබ්දය ද, රූපයක් හෙයින් පටිඝෝසය ඉපදවීමට ද, භාජනාදිය සෙලවීමට ද, සමර්‍ථ වේ. මේ ද ටීකාගත විස්තරය.

 

(පෙර ලක්‍ෂණාදි වශයෙන් විස්තර කරන ලද්දා වූ චක්‍ෂුරාදිය නැවත පිහිටීම් ආදීන් විස්තර කරනුවෝ ඒ පඤ්ච උපාදා රූපයන් අතුරින්)

 

(i) චක්‍ෂුඃප්‍ර‍සාදය නිල්වන් ඇසිපිය රෝමයෙන් අවටින් ගැවසී ගත් කෘෂණ-ශුක්ල මණ්ඩලයෙන් විසිතුරු වූ නිල් මහනෙල් මල් පෙත්තක් බඳු වූ සම්භාර චක්‍ෂුෂ්හි (ඒ ඇස් ගඩුවෙහි) ශ්වේත මණ්ඩලයෙන් වට වූ කෘෂ්ණ මණ්ඩලය මධ්‍යයෙහි, ඉදිරියෙහි සිටියවුන් ගේ ශරීර සටහන උපදින තැන මතු මත්තෙහි තබන ලද පුළුන් පෙද සතක වත් කළ තෙල් බින්දුවක් ඒ පුළුන් පෙද සතෙහිම පැතිරී සිටුනා සේ ඇසෙහි වූ පටල සතෙහිම පැතිර වැඩීම ද, නැහැවීම ද, සැරසීම ද, පවන් සැලීම ද, කරන කිරිමවුන් සිවුදෙනක විසින් වඩන කැත් කුමරකු සේ දැරීම ය, බැඳීම ය, මිහිකිරීම ය, සැලීම ය යන සතර කෘත්‍යයක් ඇති එහි පැතිර සිටි සතර ධාතුන් විසින් උපකාර කරන ලදුවැ උතු-චිත්ත-ආහාරයන් විසින් උපස්තම්භ කරන ලදුවැ ජීවිතින්‍ද්‍රිය විසින් රක්නා ලදුවැ වර්‍ණ, ගන්‍ධ, රස, ඕජාවන් විසින් පිරිවරන ලදුව උකුණු හිසක් පමණ වූ ප්‍රදේශයෙහි පවත්නේ චක්‍ෂුර් විඥාන සිත් දෙකට චක්‍ෂුර්‍වස්තු භාවය ද, ආවජ්ජන - සමපටිච්ඡන-සන්තිරණ - ජවන - තදාලම්බනයනට ද්වාරභාවය ද සිද්ධ කෙරෙමින් සිටුනේ යි.

 

එමැ කීහ.

 

“යෙන චක්ඛුප්පසාදෙන - රූපානි මනුපස්සති

පරිත්තං සුඛුමං එතං - ඌකා සිරසමූපමං”[471]

 

‘රූපාලම්බනය දක්නා ඒ චක්‍ෂුඃප්‍ර‍සාදය ඉතා කුඩා ය. උකුණු ඉසක් පමණ වේ.’

 

විශේෂ : ප්‍ර‍සාදරූපය වූ කලී මනොද්වාර ගෝචර වූ ප්‍ර‍සාද මාත්‍ර‍ය ය. එය ප්‍ර‍මාණත්‍වයෙන් ගිණිය නො හැකි වුව ද, එයට නිශ්‍ර‍ය අවිනිර්‍භොග රූප හා ජීවිතින්‍ද්‍රිය ද, ඇතුළු රූප කලාපයන් ගෙන මෙහි ප්‍ර‍මාණය කීහයි ද, හෙද එහි අක්‍ෂි පටල සතේ පැතිරීමෙන් කුඩා දේ මහත් කොට පෙනෙන වීදුරු වලින් මෙන් එසේ මහත්ව පෙන්වතැ යි ද සිතිය හැක්ක.

 

(“ඒ චක්‍ෂුස් තෙමේ අධිට්ඨාන භේදයෙන් ද, එහිදු ප්‍රත්‍යෙකයෙන් අනේක කලාපගත බැවිනුදු අනේක වූයේ ද, සාමාන්‍ය නිර්දේශයෙන් ඒක ක්‍ෂණයක එකම කෘත්‍යයක් කරනු බැවිනුදු, එකක් කොට කියන ලදී.” (යනු සත්‍යයි)

 

(2) ශ්‍රෝත්‍ර‍ප්‍ර‍සාදය සම්භාර සෝත ඛිලය තුළ තුනී වූ තඹවන් රෝමයෙන් ගැවසීගත් ඇඟිලි මුදුවකට බඳු සටහන් ඇති පෙදෙසෙහි යට චක්‍ෂුඃප්‍ර‍සාදයෙහි කී පරිදි ධාතුන් විසින් කරන ලද උපකාර ඇතිවැ, සෘතු චිත්ත - ආහාරයන් විසින් උවටැන් කරන ලදුවැ, වර්‍ණාදීන් පිරිවරන ලදුව සෝත විඤ්ඤාණාදි සිත්වලට සුදුසු වස්තු-ද්වාර භාවය සිදු කෙරෙමින් සිටී.

 

(3) ඝ්‍රාණ ප්‍ර‍සාදය සසම්භාර ඝ්‍රාණ ඛිලයෙහි ඇතුළත එළු කුරයක සටහන් ඇති පෙදෙසෙහි යට කී පරිදි උපකාර - උපස්තම්භ - අනුපාලන - පරිවාර ලැබ ඝ්‍රාණ විඥානාදියට වස්තු - ද්වාර භාවය සිදුකෙරෙමින් සිටී.

 

(4) ජිහ්වා ප්‍ර‍සාදය සම්භාර ජිහ්වායෙහි මැද මතුපිට උපුල් පතෙක අගට බඳු සටහන් ඇති පෙදෙසෙහි යථෝක්ත උපකාර-උපස්ථම්භ-අනුපාලන-පරිවාර ලැබ ජිහ්වාවිඥානයට වස්තු - ද්වාර භාවය සිදුකෙරෙමින් සිටී.

 

(5) කායප්‍ර‍සාදය මේ ශරීරයෙහි කර්‍මජ තේජෝ ධාතුව (ජඨරාග්නිය) පැතිර පවත්නා ස්ථානය හා කෙස්-ලොම්-නිය-අක් හා වියළි සම්දැ යි මෙතෙක් දෑ හැර කර්‍මජ රූප පවත්නා අනෙක් මුළු ශරීරයෙහි කපු පුළුන් පෙදක වත්කළ තල තෙලක් සේ කායවිඥානාදියට වස්තු - ද්වාර භාවය සිදුකෙරෙමින් සිටී.

 

විශේෂ :- චක්ඛුප්පසාදාදියෙහි ද මේ කායප්පසාදය ඇත ද, ඒ ඒ ප්‍ර‍සාදයන්ට නිඃශ්‍ර‍ය වූ භූත රූපයන් ගේ වෙනස් වෙනස් ලක්‍ෂණ ඇති හෙයින් නො ගැනේ.

 

විස්තර :- සසම්හාර චක්ඛු නම් මස් ගඩුවෙහි උපකරණ වශයෙන් සතර මහා භූතය, වණ්ණය, ගන්‍ධය, රසය, ඕජාව, සම්භවය, සණ්ඨානය, ජීවිතය, භාවය, කායප්‍ර‍සාදය, චක්‍ෂුඃප්‍ර‍සාදය යන කොටස් තුදුසෙක් (14) වෙයි.

 

ශ්‍රෝත්‍රාදියෙහි ද මේ තුදුස් ධර්‍මයෝ ම වෙත්. මේ සංක්‍ෂේපයෙහි ලා අවිනිර්‍භොග රූප අට හා සම්භව සන්ඨාන ද චතුසමුට්ඨානික වශයෙන් ගෙන සතලිසෙක් (40) වේ. කර්‍මජ වූ කාය-භාව-ජීවිත-රූප හා ඒ ඒ ප්‍ර‍සාද ද සමග සුසාලිසෙකි (44) උපකරණ නම් මේ ය.

 

වත්‍ථුද්වාරභාවය, චක්ඛුප්පසාදාදි පඤ්චප්පසාදයෝ චක්ඛු විඤ්ඤාණාදි විපඤ්ච විඤ්ඤාණයන්ට පිහිටීමට උපකාර වීමෙන් වත්‍ථුභාවය හා සමපටිච්ඡනාදි සෙසු විථිචිත්තයන්ට ද නිශ්‍ර‍ය වීමෙන් ද්වාරභාවය ද සිදු කෙරේ.

 

තවද චක්‍ෂුඃප්‍ර‍සාදය විෂම අදහස් ඇති බැවින් තුඹස් සිදුරක ඇලුණු සර්‍පයකු මෙන් ද, ශ්‍රෝත්‍ර‍ප්‍ර‍සාදය බිලාධ්‍යාශය ඇති බැවින් ගැඹුරු ජලයෙහි බිලයක වෙසෙන කිඹුලකු මෙන් ද, ඝ්‍රාණප්‍ර‍සාදය ආකාශධ්‍යාශය ඇති බැවින් අජටාකාශයෙහි ඇලුණු උකුස්සකු මෙන් ද, ජිහ්වාප්‍රාසාදය ග්‍රාම්‍යාධ්‍යාශය ඇති බැවින් ග්‍රාමයෙහි ඇලුණු සුනඛයකු මෙන් ද, කායප්‍ර‍සාදය උපාදින්නක ශරීරයෙක ස්පර්ශ ගැනීමේ අදහස් ඇති බැවින් අමුසොහොනෙහි ඇලුණු ශෘගාලයකු මෙන්දැ යි, මේ පඤ්චප්‍ර‍සාද තම තමා අයත් ගෝචරයට නැමුණු අයුරු සලකා මෙසේ උපමා විසින් දතයුතු.

 

විශේෂ :- චක්ඛුප්පසාදාදි රූප ධර්‍මයෝ ඒවා අයත් පුද්ගලයා ගේ අදහස් විසින් විසම අදහස් ඇත්තෝ වෙති. ඨානූපචාර විසින් මෙසේ කී.

 

විෂය රූප

 

(6) රූපාලම්බනය :- චක්‍ෂුඃප්‍ර‍සාද රූපයෙහි ගැටීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. චක්‍ෂුඒවිඥානයට ආලම්බන වීම නොහොත් ආලම්බන වීමේ ගුණය කෘත්‍යය කොට ඇත්තේ ය. චක්ඛුවිඤ්ඤාණයට ගෝචර භාවයෙන් වැටහෙන ස්වභාව ඇත්තේ ය. සතර මහාභූත ආසන්න කාරණ කොට ඇත්තේ ය. (මෙසේ සියලු උපාදා රූපයෝ සතර මහාභූත ආසන්න කාරණ කොට ඇත්තාහ. එසේ නො පවත්නා තන්හි ඒ වෙසෙසා කියනු ලැබේ.) මේ රූපාලම්බනය නීල පීතාදි වශයෙන් නන් වැදෑරුම් වේ.

 

(7) ශබ්දාලම්බනය :- ශ්‍රෝත්‍ර‍ප්‍ර‍සාදයෙහි ගැටීම ලක්‍ෂණ යැ. ශ්‍රොත්‍ර‍ විඥානයට විෂය වීම කෘත්‍ය යැ. එයට ගොදුරු වීම වැටහෙන ස්වභාවය යැ. බෙර හඬය, මිහිඟු බෙර හඬය ආදීන් ශබ්දය අනේකාකාරයි.

 

(8) ගන්‍ධාලම්බනය :- ඝ්‍රාණප්‍ර‍සාදයේ ගැටීම එහි ලක්‍ෂණ යැ. ඝ්‍රාණ විඥානයට විෂය වීම කෘත්‍යය යැ. එයට ගොදුරු වීම වැටහෙන ආකාරය යැ. මූලගන්‍ධය - සාරගන්‍ධය යනාදීන් ගන්‍ධය නානාවිධ යි.

 

(9) රසාලම්බනය :- ජිහ්වා ප්‍ර‍සාදයෙහි හැපීම ලක්‍ෂණකොට ඇත්තේ ය. ජිහ්වා විඥානයට ගෝචරවීම එහි කෘත්‍යය යැ. ජිහ්වා විඥානයාගේ පැවැත්මට ස්ථාන භාවය වැටහෙන ආකාරය යැ. මූලරසය බන්‍ධරසය යනාදීන් රසය අනේකවිධයි.

 

ස්පර්‍ශාලම්බනය :- කාය ප්‍ර‍සාදයෙහි ගැටීම ලක්‍ෂණය යැ. කාය විඥානයට විෂය වීම කෘත්‍යය යැ. කාය විඥානයට ගොදුරුවීම වැටහෙන ආකාරය යැ. ආපොවර්ජිත භූතත්‍ර‍ය ආසන්න කාරණ යැ. (ආපො ධාතුව ශීතස්පර්‍ශවත්යැ[472] යි මතාන්තරයෙකි. ඒ නො යෙදේ. තේජෝ ධාතුව අඩුවූ කල සීතල සේ දැනෙන හෙයිනි. ‘ස්පර්‍ශ කරන්නහු ගේ ශරීරයේ උෂ්ණයට ස්පර්‍ශ කරන දැයෙහි උෂ්ණය අධික වූ කල උෂ්ණයයි ද, එයට අඩු වූ කල සීතයයි’ ද දැනීම වේ. තවද සීත උෂ්ණ දෙක එකවිට නො දැනෙන හෙයින් තේජෝ ධාතුහුගේ ම ඌනත්‍වය සීතල බව පැහැදිළි ය.) මෙය පඨවි තේජෝ වායෝ ධාතුන් හෙයින් විශේෂයෙන් නොගැනේ.

 

(10) ඉත්‍ථින්‍ද්‍රිය :- ‘මෝ ස්ත්‍රීයැ’යි දැනීමට හා ස්ත්‍රීය යන නාමය ඇතිවීමට හේතුවූ බව් ලක්‍ෂණ කොට ඇත්තේ ය. මේ ස්ත්‍රීයැ යි ප්‍ර‍කාශවීම කෘත්‍යය යැ. i ස්ත්‍රී ලිඞ්ගය, ii නිමිත්තය, iii කෘත්‍යය, iv ආකල්පය යන මොවුන්ට හේතු භාවය නුවණට වැටහෙන ආකාරය යි. (මෙයම යට කී සේ ස්ත්‍රිය යි දැනගන්නා නුවණට හා ස්ත්‍රිය යන ශබ්දයට හේතුව වනබැවින් ස්ත්‍රීභාව නමුදු වේ.)

 

i වටවූ උකුළු හා මෘදු අත්-පා ආදිය ඇති බව හෝ ස්ත්‍රීන් ගේ මූත්‍ර‍ කරණය හෝ ලිඞ්ග නමි.

 

ii සන්නාදි ස්ත්‍රී බව් දැක්වෙන ලකුණු හෝ අනුරාගාදි අදහස් ස්ත්‍රී නිමිත්ත නමි.

 

iii ළදරු කල පටන් කුළු ආදියෙන් ක්‍රීඩා කිරීම ආදිය හෝ කෑම් බීම් ආදිය ස්ත්‍රී කෘත්‍ය යැ.

 

iv අවිසද ගමන් බිමන් ආදි ආකාරය හෝ ස්වරූපය ස්ත්‍රී ආකල්ප ය.

 

ප්‍ර‍ශ්න :- ස්ත්‍රී ලිඞ්ගාදීහු කර්‍මාදි තම තමා අයත් ප්‍ර‍ත්‍යයයෙන් හටගන්නාහු නො වෙද්ද, කුමක් හෙයින් ලිඞ්ගාදියට කාරණභාවය (පච්චුපට්ඨාන) වැටහෙන ආකාර භාවයෙන් කීයේ ද

 

පිළිතුර :- කර්‍මයෙන් උපදිතත් ස්ත්‍රීභාව සහිත ස්ථානයෙහිම ඒ ඒ ආකාරයෙන් උපදනා හෙයින් ස්ත්‍රීන්‍ද්‍රිය ඔවුනට නිමිති වේ. එහෙයින් ලිඞ්ගාදිය ස්ත්‍රීන්‍ද්‍රියයා ගේ පච්චුපට්ඨානය යි කියන ලදී.

 

ප්‍ර‍ශ්න :- කුමක් හෙයින් ස්ත්‍රීභාවය ස්ත්‍රීන්‍ද්‍රිය යි කියන ලද ද

 

පිළිතුර :- ස්ත්‍රී ලිඞ්ගාදීන් කෙරෙහි ම කාරණාභාව සඞ්ඛ්‍යාත අධිපති භාවයෙන් ස්ත්‍රී භාවයා ගේ ඉන්‍ද්‍රිය භාවය කියන ලදී. භේද ස්ත්‍රීන්‍ද්‍රිය සහිත සන්තානයෙහි ස්ත්‍රීලිඞ්ගාදි ආකාර වූ රූප ප්‍ර‍ත්‍යයයන් අන් ආකාරයකින් නූපදනා හෙයින් හා ස්ත්‍රිය යි ගැනීමට ඒ රූපයන් ප්‍ර‍ත්‍යය යන බැවින් දැ යි මෙසේ ඉන්‍ද්‍රිය භාවය වදාරන ලදි.

 

ප්‍ර‍ශ්න :- එහෙත් පට්ඨාන පාළියෙහි එයට ඉන්‍ද්‍රියාදි ප්‍ර‍ත්‍යය භාවය කුමක් හෙයින් නො වදාළේ ද

 

පිළිතුර :- භාව දසක කලාපයෙහි වූ ස්ත්‍රීන්‍ද්‍රියය ද, රූප නොඋපදවන්නේ ය. පාලනය ද නොකරන්නේ ය. උපස්තම්භක ද නොවන්නේ ය. අන්‍ය කලාපගත රූපයන්ට ද, ජනක-පාලක-උපස්තම්භක නොවන්නේ ය. එහෙයින් කලාපගත රූපයන්ට ජීවිතින්‍ද්‍රියය මෙන් ද, අන්‍ය කලාපගත රූපයන්ට ආහාරය මෙන් ද, ඉන්‍ද්‍රිය - අසති - අවිගත - ප්‍ර‍ත්‍යය වන්නේ ය”යි නො වදාරන ලදි.

 

(11) පුරිසින්‍ද්‍රිය :- මේ පුරුෂයායැ යි ශබ්ද-බුද්ධීන්ට කාරණ බව ලක්‍ෂණ යැ. පුරුෂයායැ යි ප්‍ර‍කාශවීම කෘත්‍යය යැ. පුරුෂ ලිඞ්ග නිමිත්ත-කෘත්‍ය වේශය යන මොවුන්ට කාරණභාවය වැටහෙන ආකාරය. (මෙහි විස්තර ස්ත්‍රීන්‍ද්‍රියයට විසදෘශ පක්‍ෂයෙහි වේ.)

 

විශේෂ :- මේ රූපද්වයය එකම සන්තානයෙහි එකවට නො පවත්නේ ය. “යස්ස ඉත්‍ථින්‍ද්‍රියං උපපජ්ජති තස්ස පුරිසින්‍ද්‍රියං උප්පජ්ජති නො”යි ස්තීන්‍ද්‍රිය උපන්නහුට පුරිසින්‍ද්‍රිය නූපදනා බව පැවසේ.

 

එහෙයින් උභතෝබයඤ්ජනකයාට පවා එක ලිඞ්ගයක් අතුරුදහන් වූ පසු අන්‍ය ලිඞ්ගය පහළ වේ.

 

මතභේද :- ඇතැම් කෙනෙක් ‘භාව රූප ශරීරයෙහි ඒක දේශයක පවතී ය’යි කියත්. එය එසේ නොවේ. ඒ ‘දෙකම කාය ප්‍ර‍සාදය මෙන් සකල ශරීරය පැතිර පවතී.’ එහෙත් ‘කාය ප්‍ර‍සාදය සිටි තන්හි හෝ නො සිටි තන්හි හෝ පවතී ය’යි කිව නොහේ. භින්නනිශ්‍ර‍ය හෙයිනි.

 

කුමක් මෙන් ද යත්:

 

එකෙකී කලාපයෙහි පිහිටි රූප රසාදිය ලක්‍ෂණ වශයෙන් වෙනස් හෙයින් ඔවුනොවුන් මිශ්‍ර‍ නොවන්නාක් මෙනි. (මෙසේ සමාන නිශ්‍ර‍ය හෙවත් එකම පෘථිවි ධාතුවක් ආශ්‍ර‍ය කොට පවත්නා රූප රසාදිය ද ලක්‍ෂණ වශයෙන් වෙනස් හෙයින් මිශ්‍ර‍ නොවේ නම්, භින්න නිශ්‍ර‍ය හෙවත් ආධාර වූ පෘථිවි ධාතුව ද වෙනස් හෙයින් භින්න ලක්‍ෂණ වූ කාය ප්‍ර‍සාද, භාව රූපයන් ගේ සංකරය (මිශ්‍ර‍ණය) නොවේම ය.

 

(12) ජීවිතින්‍ද්‍රිය :- තමා හා එක්වැ උපන් රූපයන් පාලනය කිරීම ලක්‍ෂණ යැ. ඒ සහජාත රූප පැවැත්වීම කෘත්‍යය යැ. ඔවුන් ගේ ම සිටුවීම වැටහෙන ආකාරයැ. තමා විසින් පැවැත්විය යුතු භූතයන් ම ආසන්න කාරණයැ යි.

 

(ජීවිතින්‍ද්‍රිය කර්‍මජ හෙයින් සහජාත රූප ද කර්‍මජම යත තමා අයත් ක්‍ෂණ මාත්‍ර‍යක් සිටුනා කර්‍මජ රූපයන්ට ජීවත්වීමට හේතුවීමෙන් ම ඒ පාලනය කිරීම ජීවිතින්‍ද්‍රියයේ ලක්‍ෂණ යැ.)

 

ප්‍ර‍ශ්න :- ආහාරජ රූපයනට ආහාරය මෙන් කර්‍මජ රූපයනට කර්‍මය පැවැත්මට හේතු විය යුතු නොවේ ද

 

පිළිතුර :- ආහාරාදීහු තම තමා ඇති ක්‍ෂණයෙහි රූප උපදවා ඒවායේ පැවැත්මට ද හේතුවෙත්. (පියා රැකීමට සිටුනා පුත්‍ර‍යා සුළු පිය ආදීන් ගැන අපේක්‍ෂා නො කරන්නාක් මෙනි.) ජලය උපුල් ආදිය රක්නාක් මෙන් අනුපාලනය කටයුතු රූප ඇති කල්හිම ජීවිතින්‍ද්‍රිය සහජාත රූප පාලනය කරන්නේ ය. කිරි මවු, අන්‍යයන් ප්‍ර‍සව කළ රජ කුමරුවකු රක්නා සේ තමා අයිති යම් යම් කර්‍මයෙන් හටගත් කර්‍මජ රූපයන් ජීවිතින්‍ද්‍රිය ආරක්ෂා කරන්නේ ය.

 

ප්‍ර‍ශ්න :- කර්‍මජ රූපයන් ගේ පැවැත්වීමට හේතු වූ ජීවිතින්‍ද්‍රියය කර්‍ම යෙන් තොරව කෙසේ පවත්නේ ද,

පිළිතුර :- නැව පදින්නා වූ නැවියා තමා විසින් පදින නැව හා සම්බන්ධව ම අභිමත ස්ථානයට පැමිණෙන්නාසේ, තමා විසින්ම රක්නා ලද සහජාත ධර්‍මයන් ගේ බලයෙන් පවත්නේ යි.

 

ප්‍ර‍ශ්න :- කර්‍මජ රූපයන් ගේ පැවැත්ම ජීවිතින්‍ද්‍රිය ප්‍ර‍තිබද්ධ නම් සියලු කල්හි නො පවත්නේ කවර හෙයින් ද

පිළිතුර :- තමා ගේ හා පාලනය කළ යුත්තන් ගේ ද අභාවයෙනි.

 

ප්‍ර‍ශ්න :- භඞ්ගක්‍ෂණයෙහි නො පැවැත්විය හැක්කේ කුමක් හෙයින් ද

පිළිතුරු :- අවසන් වූ පහන්වැටියට තෙල් ඇත්තාවූ ද, පහනෙහි සිළුව පැවැත්විය නො හැක්කා සේ, ජීවිතේන්‍ද්‍රිය ය භඞ්ගක්‍ෂණයෙහි බිඳෙන හෙයිනි. එසේ භඞ්ගක්‍ෂණයෙන් මත්තෙහි නො යැපිය හැකි වුව ද, පරම්පරාව රැකීම ය, යැපීම ය, ජීවත්වීමය, සිටුවීම ය, පිහිටුවීම ය, යන මොහු අනුභාවයෙන් තොර නො වන්නාහ. කියන ලද යම් යම් ක්‍ෂණයෙක්හි ඒ ඒ රූප පරම්පරාව ආරක්‍ෂා කිරීම ය, යැපීම ය, ජීවත්කර වීම ය, යනාදි කෘත්‍ය සිද්ධ කරන හෙයිනි.

 

(ඉන්‍ද්‍රිය ප්‍ර‍තිබද්ධ රූපයා ගේ හා මළවුන් ගේ රූපයේ වෙනස ද ජීවිතින්‍ද්‍රිය හා සම්බන්ධ වූ කර්‍මජ රූපයා ගේ හා උතුසමුට්ඨානාදි රූපයේ වෙනස ද, ජීවිතින්‍ද්‍රිය විසින් කරන ලදී. හුදෙක් ජීවිතින්‍ද්‍රිය ක්‍ෂණ ස්ථිතියට හේතු නොවේ. රූප පරම්පරාව නො සිඳ පැවැත්මට ද හේතු වන්නේ ය. ක්‍ෂණ ස්ථිතියට ම හේතු වේ නම් ආයුක්‍ෂය මරණය නො යෙදෙන්නේ ය. (ආයු නම් ජීවිතින්‍ද්‍රිය ය) තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් ජීවත්වීමට උපකාර වන හෙයින් ජීවිත නම් වේ. පියුම් දණ්ඩෙහි සිදුර වූ ජලය, ජලයෙන් මතු වූ පියුම වියළී යා නොදී රක්නා සේ කර්‍මජ රූප තමා පවත්නා කාලය තුළ ආරක්‍ෂා කරන හෙයින් රටවැස්සා කෙරෙහි ඊශ්වරත්වය පවත්වා ආරක්‍ෂා කරන පෘථිවීශ්වරයකු සේ කර්‍මජ රූපයන් ඊශ්වරත්‍වයෙන් රක්නා හෙයින් ජීවිතින්‍ද්‍රිය නමුදු වේ. මෙය ජඨරාග්නිය හා කෙස්, ලොම්, නිය අක් හා වියළි සම් ය යන මේ ස්ථාන හැර ඉතිරි මුළු සිරුරැ පැතිරී සිටී.)

 

(13) හදයවත්‍ථු :- මනෝධාතු, මනෝවිඤ්ඤාණධාතුන්ට නිඃශ්‍ර‍ය වීම මෙහි ලක්‍ෂණ යැ. ඒ ධාතු ද්වයට ආධාර වීම කෘත්‍යය යැ. එය ධැරීම වැටහෙන ආකාරය යි.

 

විස්තර :- සප්ත විඥනයන් අතුරෙන් දෙපස් විඤ්ඤාණයෝ පඤ්චප්පාසාද වත්‍ථූන් නිසා පවත්නා හ. මනෝධාතු - මනෝවිඤ්ඤාණ ධාතුද්වය හෘදය වස්තුව නිසා පවතී. ඒ හෘදය වස්තුව වනාහි යට කායගතාසති නිර්දේශයෙහි කීසේ හෘදය මාංසය ඇතුළත පවත්නා ලෙය ඇසුරු කොට සතර මහා භූතයන් විසින් සන්‍ධාරණාදි කෘත්‍යයෙන් කරන ලද උපකාර ඇතිවැ, සෘතු, චිත්ත, ආහාරයන් විසින් උවතඹ කරන ලදුවැ, ජීවිතේන්‍ද්‍රිය විසින් ආරක්ෂා කරන ලදුවැ මනොධාතු-මනොවිඥාන ධාතුන්ට හා ඒ හා සම්ප්‍ර‍යුක්ත චෛතිකයනට නිශ්‍ර‍ය වස්තු බව සිද්ධ කරමින් පවතී. (මේ ටීකාගත විස්තරයෙකි)

 

ප්‍ර‍ශ්න :- ඒ බව කෙසේ දතහැකි වේ ද

පිළිතුර :- ආගම නයින් හා යුක්ති විසින් ද දතහැකි වේ.

 

‘යම් රූපයක් නිසා මනෝධාතු - මනෝවිඤ්ඤාණධාතු’ පවතී නම් ඒ රූපය ඒ ධාතුද්වයට ද, තත් සම්ප්‍ර‍යුක්ත චෛතසිකයනට ද නිඃශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.’

 

“යං රූපං නිස්සාය මනෝධාතු-මනෝවිඤ්ඤාණධාතුච වත්තන්ති තං රූපං මනොධාතුයා මනෝවිඤ්ඤාණධාතුයාච තං සම්පයුත්තකානඤ්ච ධම්මානං නිස්සය පච්චයෙන පච්චයො”[473] යි මේ ය ආගම නම්.

 

ප්‍ර‍ශ්න :- මනෝධාතු - මනෝවිඤ්ඤාණධාතුන්ට නිශ්‍ර‍ය වූ හෘදය වස්තු රූපයෙක් වේ නම් කුමක් හෙයින් දම්සඟුණු පෙළෙහි නො වදාළ සේක් ද?

පිළිතුර :- එහි නො වැදෑරීම අන්‍ය කාරණයෙකිනි.

 

ප්‍ර‍ශ්න :- ඒ කවරේ ද

පිළිතුර :- දේශනා භේදය හෙයිනි

 

ඒ මෙසේයි:- වස්තු දුකාදි දේශනාව නිඃශ්‍රිතයන් ගේ වශයෙන් පැවැත්නේ ය. මනෝවිඤ්ඤාණධාතුව ඒකාන්තයෙන් හෘදය වස්තු රූපය නිසාම නො පවතී. “අත්‍ථි රූපං චක්ඛු විඤ්ඤාණස්ස වත්‍ථු, අත්‍ථි රූපං චක්ඛු විඤ්ඤාණස්ස න වත්‍ථු”[474] ‘චක්ඛු විඤ්ඤාණයට වස්තු වූ රූපයක් ඇති, චක්ඛු විඤ්ඤාණයට වස්තු නොවූ රූපයක් ද ඇති, යනාදි විසිනි. මේ අනුව “අත්‍ථි රූපං මනොවිඤ්ඤාණස්ස වත්‍ථු” මනොවිඤ්ඤාණයට වස්තු වූ රූපයක් ඇත, යනාදීන් වස්තු දුකාදිය කියනු ලබන කල එයට අනුකූල සේ ආරම්මණ දුකාදිය නො යෙදේ. ඒ මෙසේ යි. “අත්‍ථි රූපං චක්ඛු විඤ්ඤාණස්ස ආරම්මණ අත්‍ථිරූපං චක්ඛු විඤ්ඤාණස්ස න ආරම්මණං”2 යි ‘චක්ඛු විඤ්ඤාණයට ආරම්මණ වූ රූපයක් ද, චක්ඛු විඤ්ඤාණයට ආරම්මණ නොවූ රූපයක් ද ඇතැයි, මෙසේ විපඤ්ච විඤ්ඤාණයට ආරම්මණ වූ ද, ආරම්මණ නොවූ ද, රූප වදාළ සේක. “අත්‍ථි රූපං මනො විඤ්ඤානස්ස ආරම්මණං අත්‍ථි රූපං න මනො විඤ්ඤාණස්ස ආරම්මණං යි ‘මනො විඤ්ඤාණයට ආලම්බණ වූ රූපයක් ඇති. මනොවිඤ්ඤාණයට ආලම්බන නො වූ රූපයක් ඇතැයි ද, මෙසේ නො වදාළ හැකි හෙයින් වස්තු ආලම්බන දුක වෙනස් ස්වරූප වන හෙයින් නො වදාළහ. එසේ වන්නා දේශනාව භින්න ගතික වේ. මෙතන්හි වූ කලී සදෘශ කෘත්‍යය ඇති දේශනාව වැදෑරීම ශාස්තෘන් වහන්සේ ගේ අදහස යැ. එහෙයින් “ධම්මසඞ්ගණී” රූප කාණ්ඩයෙහි හෘදය වස්තු රූපය නො වදාළහ.

 

මේයැ යුක්තිය පඤ්ච වෝකාර භවයෙහි මනෝධාතු - මනෝවිඤ්ඤාණ ධාතුවය උපාදා රූප වූ හෘදය වස්තු රූපය නිසාම පවත්නේ ය.

 

චතුවෝකාර (ආරුප්ප) භවයෙහි මනොවිඤ්ඤාණ ධාතුව හෘදය වස්තු රූපය නැතිව ම පවත්නේ යි. එහි රූප නැති හෙයින් මනෝධාතුව (චතුවොකාර භවයෙහි) නොපවත්නේයි. එයිනුදු වස්තු දුකයා ගේ විසදෘශ භාවය ද වේ. චක්ඛු විඤ්ඤාණාදියට නිශ්‍ර‍ය වන හෙයින් මනෝධාතු - මනෝවිඤ්ඤාණධාතු ද්වය චක්‍ෂුඃප්‍ර‍සාදාදිය ඇසුරු කොට නො පවත්නේ යි. රූපාදි පඤ්චාලම්බනයන් බාහිරයෙහි ද පවත්නා හෙයින් ඔහු ද මනෝධාතු - මනෝවිඤ්ඤාණධාතුන්ට නිශ්‍ර‍ය නොවෙත්. ජීවිතේන්‍ද්‍රිය ද, තමා හා සම්ප්‍ර‍යුක්ත රූප කලාපයන් පාලනය කිරීමෙහි දී පවත්නා හෙයින් මේ ධාතු ද්වය ජීවිතෙන්‍ද්‍රිය නිශ්‍ර‍ය කොට ද නො පවත්නේ යි.

 

ස්ත්‍රීභාව-පුරුෂභාව රූප ද ආදිකල්පික බ්‍ර‍හ්ම (අභාවක සත්ත්‍ව) යන් විෂයෙහි ද නො පවත්නා හෙයින් මේ ධාතු ද්වය භාවරූපයන්හි ද නො පවත්නේ ය. මෙසේ වන්නා මෙකී ස්ථානයන්ගෙන් පිටත් යම්කිසි උපාද රූපයක් ඇසුරින් මේ ධාතු ද්වය පැවැතිය මනා ය. එසේ ද වුවත් ධම්සඟුණු රූප කාණ්ඩයෙහි ‘වස්තු - ආලම්බන’ දුකයන් ගේ පෙර කී සේ විසදෘශත්‍වය හේතුකොට නො වදාළහ. චිත්ත - චෛතසිකයන් වාසය කරන අර්ථයෙන් ම මේ හෘදය රූපය වස්තු නම් වේම ය. වස්තු භාවය ලබනුයේ සිතට ආශ්‍ර‍ය වන්නෝම ය.[475]

 

(14) කාය විඤ්ඤත්ති රූපය :- ඉදිරියට යාම, ආපසු ඊම, අත් පා දිග හැරීම, හැකිළීමාදි කායික ක්‍රියාවන් පවත්වන්නා වූ සිත නිසා පැවැති වායෝ ධාතුව හා එක්වැ හටගන්නා වූ රූප කායයට රුකුල් දීමෙන් සැලීම්-පිහිටුවීම් ආදි ඒ ඒ ක්‍රියාවන් උපදවන්නා වූ ආකාර විශේෂය කාය විඤ්ඤත්ති නම. යම් ආදි ක්‍රියාවකදී සැලෙන කාය ප්‍ර‍දේශයක් දැකීමෙන් පිටත සිටිනවුනට ‘මේනම් දෙයක් කරතැ’යි දැනීමක් ඇතිවනුයේ කාය විඤ්ඤත්තිය නිසා ය. ඒ වූකලි වායො ධාතු අධිත චිත්තජ මහාභූතයන් ගේ සාමර්ථ්‍යය නිසා හට ගැනේ. අභිප්‍රාය ප්‍ර‍කාශ කිරීම මෙහි කෘත්‍යය යැ. කාය විස්ඵන්‍දනයට හේතුභාවය වැටහෙන ආකාරය යැ. චිත්ත සමුඨාන වායෝ ධාතුව ආසන්න කාරණය යැ. (කාය චලනය අදහස හැඟවීමට හේතුවන බැවින් ද, තමා ම ඒ කාය චලන සංඛ්‍යාත කයින් දතයුතු වන බැවින් ද කායවිඥපති යැ යි කියනු ලැබේ.)

 

(15) වචීවිඤ්ඤත්ති :- අර්‍ථයන් අවබෝධ කිරීමට සමර්ථ වූ වාග් භේදය පවත්වන චිත්ත සමුට්ඨාන පඨවි ධාතුව, කර්‍මජ පඨවි ධාතුවෙහි (අක්‍ෂර උත්පත්තිස්ථානයෙහි) ගැටීමට සහකාරී කාරණ වූ ආකාර විශේෂය වාග් විඥප්ති නම.

 

අදහස ප්‍ර‍කාශ කිරීම එහි කෘත්‍යය යැ. වාග් ඝෝෂයට හේතු බව වැටහෙන ආකාර යැ. චිත්තජ පඨවි ධාතුව ආසන්න කාරණ යි.

 

මෙය වාග් ඝෝෂයෙන් අදහස හැඟවීමට හේතුවන නිසා ද, තමා ද ඒ වාග්ඝෝෂ සඞ්ඛ්‍යාත වචනයෙන් දතයුතු හෙයින් ද, වාග්විඥප්ති කියනු ලැබේ.

 

නිදර්‍ශන :- අරණ්‍යයෙහි ඔසවා හිඳින ලද ගෝසීසාදියක් දැක මෙහි ජලය ඇතැයි දුර දීම දතහැකි වන්නා සේ, කාය චලනය හා වාග් ඝෝෂය ද ගෙන කාය-වාග් විඥප්තීන් දැන ගනිති.

 

විශේෂ :- කාය විඥප්තියෙහි දී සැලෙන වර්‍ණය ගැනීමට අනතුරුව යි ද, වචී විඥප්තියෙහි දී ඇසෙන ශබ්ද ශ්‍ර‍වණයට අනතරුවය යි ද, කියන ලදී. කාය විඥප්තිය ‘තමා හා කැටිවැ උපන් රූපකායයා ගේ තදවීම ය, ධැරීම ය, සැලීම ය යන මොවුනට හේතු වූ ආකාර විකාරය’යි කියන ලද හෙයින් සප්තම ජවනයෙහි හටගත් වායෝ ධාතුව පූර්‍ව ජවනයන් ගෙන් හටගත් වායෝ ධාතුහු ගේ උපස්තම්භය ලැබ චිත්තජ රූප චලනය කෙරේ. (මුල් ගැල්වල යුගයෙහි බැඳි ගොනුන් ගේ ඇදීම් වේගයෙහි උපකාරය ලැබ සප්තම යුගයෙහි බැඳි ගොනුන් ම අදනා සේ යයි අටුවාහි කීයේ එහෙයිනි.

 

වාග් විඥප්තිය, චිත්තජ පඨවිධාතු ඝට්ටනය හා සමගමැ සෘතුජ ශබ්දය උපදී. හෙද පර්‍ය්‍යාය වශයෙන් චිත්තජය යි කියති. එය වූ කලී ප්‍ර‍ථම ජවනයන් ගේ අනුබලය ලැබ සප්තම ජවනයෙහිම වේ. තදවීම්-ධැරීම් ආදිය නැති හෙයිනි. එහෙයින් සුළඟින් ගස් කොළන් සෙලවීමෙහි හා එබඳු ශබ්දයෙහි ද විඥප්ති විකාර රහිත හෙයින් මෙය මෙබන්දක් කෙරේයැ යි නො ගැනේ. (කරුණු මෙසේ හෙයින් හස්තාදී අවයව චලනයට හා ශබ්දයට වඩා අධික වූ අදහස් ඇඟවීමේ ශක්ති විශේෂයකුදු ඇති බව් නිශ්චිතයැ.)

 

(16) ආකාශ ධාතුව :- චක්‍ෂුර්දශකාදි ඒ ඒ කලාපයෙහි රූප පිරිසිඳීනුයි හෝ ඔවුන්ගෙන් තමා මැ පිරිසිඳීම් ලබානුයි හෝ රූපයන් ගේ පිරිසිඳීම් මාත්‍ර‍ය හෝ යි. මෙසේ මෙය රූප පරිච්ඡේදය (රූප කෙළවර) ලක්‍ෂණ කොට ඇත්තේ ය. රූප කලාපයන් ගේ දැක්වීම එහි කෘත්‍යය යැ. රූපයන්ගේ පරිච්ඡේද මාත්‍ර‍ය (සීමාව) වැටහෙන ආකාරය යැ. ඒ ඒ කලාපයෙහි රූපයන් හා නො ගැටීම හෝ කන් සිදුරු ආදි විවර භාවය ඵලකොට ඇත්තේ යැ. පිරිසිඳින ලද රූපයන් ආසන්න කාරණය යි. (ආකාශ ධාතුවෙන් පිරිසිඳින ලද ඒ ඒ රූප කලාප අන්‍ය කලාප හා සඞ්කර නො ව, මෙය මෙයින් උඩ ය, යට ය, සරස යැ යනාදීන් පිරිසිඳීම මෙහි ස්වභාවය යි.)

(විකාර රූප)

 

(17) ලහුතා :- ලහුතා රූපය, රූපයා ගේ නො බර බව ලක්‍ෂණ කොට ඇත්තේ යැ. රූපයන් ගේ බර බව දුරු කිරීම එහි කෘත්‍ය යැ. වහා ක්‍රියා කළ හැකි බව වැටහෙන ආකාරය යැ. සැහැල්ලු රූපයම ආසන්න කාරණය යි.

 

විශේෂ :- චිත්තජ-සෘතුජ-ආහාරජ සඞ්ඛ්‍යාත තිසමුට්ඨාන රූපයන් ගේ නො බර බව විනා, රූපයන්ගේ බර බව පහකිරීමෙක් මෙයින් අදහස් නො කෙරේ. එහෙයින් මේ ඇති කල උපදනා රූපයන්ගේ ද සැහැල්ලු බව වේ.

 

(18) මුදුතා :- නො තද බව මෘදුතා රූපයා ගේ ලක්‍ෂණය යැ. රූපයන් ගේ තද බව දුරු කිරීම මෙහි කෘත්‍යය යැ. සියලු ක්‍රියාවන්හි අවිරුද්ධ බව වැටහෙන ආකාරය යැ. මොළොක් රූප ආසන්න කාරණය යි.

 

(19) කම්මඤ්ඤතා :- ශාරීරික සියලු ක්‍රියාවන්ට සුදුසු බවයැයි කියන ලද කර්‍මණ්‍ය බව ලක්‍ෂණය යැ. ශාරීරික ක්‍රියාවන්හි අයහපත් බව දුරුකිරීම එහි කෘත්‍යය යැ. රූපයන් ගේ බලවත් බව වැටහෙන ආකාරය යැ. ශරීර ක්‍රියාවන්හි සුදුසු රූපම ආසන්න කාරණය යි.

 

විශේෂ :- මේ ලහුතාදිය රූපයන් ගේ ආකාර විශේෂ යි. එබැවින් මේ විකාර රූප නම් වේ. ශාරීරික මහා භූතයන් ගේ වහා ක්‍රියා කරවිය හැකි සේ නො බර බව ලහුතා යැ. ලිහිල් බව මුදුතා යැ. රූපයන් තමා ක්‍රියාවෙහි යෝග්‍ය බව කර්‍මණ්‍යතායි. මේ තුන් එක්වැ පවතින ආකාර වුව ද ඒ ඒ අවස්ථාවන්හි ඒ ඒ ආකාර ප්‍ර‍කට වේ. එහෙත් නො ගිලන් පුරුෂයකු ගේ අත්-පාදිය වහා ක්‍රියා කරවිය හැක්කා සේ, රූපයන් ගේ සැහැල්ලු බව වහා ක්‍රියා කරවිය හැකි බව් සංඛ්‍යාත ස්වරූපය ලහුතා රූපය යැ. වා-පිත්-සෙම් ආදී ධාතුන් කිපීමෙන් හෝ, රසාදි සප්තධාතු ක්‍ෂෝභයෙන් හෝ වන කැළඹීමට ප්‍ර‍තිපක්‍ෂ ස්වරූපය වූ මනාව මැඩගන්නා ලද වර්‍ෂයක් සේ රූපයක් ගේ දැඩි බව නසා සියලු ක්‍රියාවන්හි මනාව පැවැත්විය හැකි බව මුදුතා රූපය යැ. මනාකොට පිඹගත් ස්වර්‍ණයක් සේ කායික ක්‍රියාවන්හි මනාව යෙදවිය හැකි සේ ශරීර ක්‍රියාවනට අනුකූල බව් කරන ධාතුක්‍ෂෝභාදියට ප්‍ර‍තිපක්‍ෂ ප්‍ර‍ත්‍යයයෙන් සමුත්‍ථාපිත රූප විකාරය කම්මඤ්ඤතා රූපය යි.

 

මෙසේ මේවායේ වෙනස ද දත යුතු.

 

(ප්‍ර‍ත්‍යුත්පන්න ප්‍ර‍ත්‍යය අමේක්‍ෂකත්‍වය නිසා කර්‍මජ රූපයන්හි මේ ලහුතාදිය විකාර නොවේ.)

 

(ලක්‍ෂණ රූප)

 

(20) උපචය රූපය නිෂ්පන්න රූපයන් ගේ ප්‍ර‍ථම හට ගැනීම නොහොත් මත්තෙහි වර්‍ධනය වීමට පළමුවන හටගැනීම ලක්‍ෂණය යැ. පූර්‍වාන්තයෙන් රූපයන් මතුකරවීම එහි කෘත්‍යය යැ. ඒ රූප ධර්‍මයන් එළවන්නාක් මෙන් වීම නොහොත් පරිපූර්‍ණභාවය වැටහෙන ආකාරය යැ. වැඩී වර්‍ධනය වූ රූපය ම ආසන්න කාරණය යි.

 

(21) සන්තති රූපය :- නිෂ්පන්න රූපයා ගේ පරම්පරාව පැවැත්ම ලක්‍ෂණය යැ. පරම්පරාව නො සිඳීම එහි කෘත්‍යය යැ. රූප පරම්පරාව නො සිඳ පැවැත්ම වැටහෙන ආකාරය යැ. පරම්පරාව නො සිඳ හටගන්නා වූ රූපය ආසන්න කාරණය යි. (මේ උපචය, සන්තති යන නාම ද්වයය ජාති රූපයට මැ නමි. එහෙත් ප්‍ර‍ථම හටගැනීම උචය නමි. ඊට අනතුරුව හටගැනීම සන්තති නමි. වෛනෙය අධ්‍යාශය පරිදි මෙසේ බෙදා වදාරන ලදී.)

 

මෙහි වෙනසක් නැති හෙයින් ම මොවුන් ගේ නිර්දේශයෙහි “යො ආයතනානං ආචයො සො රූපස්ස උපචයො, යො රූපස්ස උපචයො සො රූපස්ස සන්තති”[476] යි ‘අර්ධේකාදශ රූපයන්ගේ යම් ආදියෙහි හටගැනීමක් වේ නම් එය ම ප්‍ර‍ථමෝත්පාදක බැවින් උපචය නමි. එසේම ඒ උපදනා රූපයන් ගේ මතු මත්තෙහි වැඩීමක් වේ ද, හේ ප්‍ර‍බන්‍ධය නො සිඳ පැවැත්ම වේ. නොහොත් ආයතනයන් ප්‍ර‍ථම වශයෙන් ගණන් ගන්නා ලද ඉපදීම එහි ම උපදනවුන් ගේ වැඩීම හෙයින් උපචය නම් වේ. එයමැ වැඩීම් වශයෙන් ගණන් ගන්නා ලද ඉපදීම සන්තති නම් වේ. එම අටුවාහි[477] ආචය නම් නිපැත්ම ය, උපචය නම් වැඩීම ය, සන්තති නම් පැවැත්ම යයි කියා ගඟක් සමීපයෙහි කැණි ළිඳක පළමු ජලය උණන කාලය මෙන් ආචය ද, පිරුණු කාලය මෙන් උපචය ද, උතුරා යන කාලය මෙන් සන්තතිය ද උපමා කොට දක්වන ලදී.

 

මෙසේ උපමායෙන් ආයතනයන් ගේ ආචය, උපචය, සන්තතීන් උපදනා ස්වභාවයෙන් ආචයමනුයි ආයතනයන් ගේ ආචයාදිය කීයේ වේ. එසේම ආචය ශබ්දයෙන් ආයතන කියන ලදැ යි ලක්‍ෂණ විසින් උත්පාදය කියන ලදී.

 

(22) ජරතා රූපය :- රූප ධර්‍මයන් ගේ මේරීම ලක්‍ෂණය යැ. භඞ්ගය කරා පැමිණවීම කෘත්‍යය යැ. කර්‍කශත්‍වාදි ස්වභාව වශයෙන් සමාන වුව ද, උත්පාදාදි අවස්ථාපගමනය වැටහෙන ආකාරය යැ. වී වල පැරණි මෙන් මුහුකළ රූප ආසන්න කාරණය යි.

 

ඛණච්චාදි වසයෙන් දන්තාදීන් ගේ විකාරය වූ ප්‍ර‍කට ජරාව සඳහා මේ කියන ලදී. අරූප ධර්‍මයන් ගේ වනාහි පටිච්ඡන්න ජරාව වේ. එහි මේ විකාර නැති. එසේම රූප ධර්‍මයන් ගේ එනම් පෘථිවි උදක පර්‍වතාදීන් ගේ ක්‍ෂණික ජරා නම් වූ අප්‍ර‍කට ජරාව අවීචි ජරාව නමුදු වේ. එහි ද පෙර කී සේ විකාර නැති.

 

(23) අනිච්චතා රූපය :- නිෂ්පන්න රූපයන්ගේ සර්‍වප්‍ර‍කාරයෙන් විනාශය ලක්‍ෂණය යැ. විනාශයට පැමිණීම් වශයෙන් රූපයන් ගේ වැළැක්ම එහි කෘත්‍යය යැ. (ඒකාන්තයෙන් නොවළක්වතත් වළක්වන්නාක් මෙන් වන හෙයින් යටපත්වීම මෙහි අභිප්‍රේත යි.) රූපයන් ගේ බිඳීම් ස්වභාවයෙන් ගෙවීයාම වැටහෙන ආකාරය යැ. හාත්පසින් බිඳෙන රූප ම ආසන්න කාරණය යි.

 

(24) ආහාර රූපය :- කබලිඞ්කාරාභාරය, අඞ්ගමඞ්ගානුසාරී රස සඞ්ඛ්‍යාත සාරය වූ ඕජාව ලක්‍ෂණය යැ. පිඬු පිඬු කොට අනුභව කරන හෙයින් මෙනම් වේ. (ඕජට්ඨමක රූපය උපදවන හෙයින් ආහාර නම.) ඒ ඕජට්ඨමක රූපය පැවැත්වීම කෘත්‍යය යැ. ඒ ඕජට්ඨමක රූපය ඉපදීම් වශයෙන් රූපකායයට රුකුල්දීම වැටහෙන ආකාරය යැ. (කබල-කබල කොට) අනුභව කළයුතුල වස්තු ආසන්න කාරණය යි. සත්ත්‍වයන් යැපෙන ඕජාවට ‘කබලිඞ්කාර’ යනු නමෙකි.

 

මේ පෙළෙහි ආ රූපමය[478] අටුවාහි බල රූපය, සම්භව රූපය, ජාති රූපය, රෝග රූපය යන රූපයන් ද, අභයගිරි ආචාර්‍ය්‍යමතයෙහි මිද්ධ රූපය දැයි පාළියෙහි ආ රූපයන්ගෙන් අන්‍ය වූ රූප ද දක්වා “අද්ධා මුනීසි සම්බුද්ධො - නත්‍ථි නීවරණො මම”[479] යනාදීන් ගේ මිද්ධය රූපය නො වේය යි හැඟෙන හෙයින් ප්‍ර‍තික්‍ෂේප කරන ලදී. මිද්ධය රූපයක් නම් එය ප්‍ර‍හාණය නො කළ හැකි හෙයිනි.

 

(මේ පිළිබඳව ටීකාහි දීර්‍ඝ විස්තරයක් ඇතත් එය රූප නො වන බව ප්‍ර‍තීත හෙයින් මෙහි නො දැක්වේ) අන්‍ය රෝග රූපාදිය ජරතා-අනිච්චතා රූපයෙන් ද, ජාති රූපය උපචයසන්තති රූපයෙන් ද, සම්භව රූපය ආපො ධාතුවෙන් ද, බල රූපය වායෝ ධාතුවෙන් ද, ගෘහීත යි. එයින් ඉන් එකකුදු වෙන ම නැතැයි සනිටුහන් කරන ලදී.

 

මෙසේ මේ සූවිසි උපාදා රූපය, පෙර කී සතර භූත රූපදැ යි අඩු වැඩි නොවූ අටවිසි වැදෑරුම් රූප වේ.

 

ඒ සියල්ල මූලාර්ථයෙන් හේතු නම් වූ ලෝභාදිය මෙන් හේතු නොවේ. හේතු නොවන හෙයින් අහේතුක ය. හේතු භාවයෙන් වෙන් වූ හෙයින් හේතු විප්පයුත්ත ය. ප්‍ර‍ත්‍යය සමග පවත්නා හෙයින් ප්‍ර‍ත්‍යය සහිත ය. ලෝකයෙහි වන හෙයින් ලෞකික ය. භූමි වශයෙන් භවාග්‍ර‍ය තෙක් ද ධර්‍ම වශයෙන් ගෝත්‍ර‍භූ චිත්තය තෙක් ද, පැතිර සිටුනා හෙයින් ආසව ය. ආශ්‍ර‍වයන් විසින් අරමුණු කරන හෙයින් සාසව ය. යනාදි ක්‍ර‍මයෙන් ඒකවිධ වේ.

 

‘මම ය යන මානය, ඇති හෙයින් ආත්මයැ යි ද, ඒ ඇත්මාධීන හෙයින් අධ්‍යාත්මයැ යි ද, (ඉන්‍ද්‍රිය ප්‍ර‍තිබද්ධ ධර්‍මයෝ ය.) ඔවුන් කෙරෙහි වූයේ අධ්‍යාත්මකයැ යි ද, (චක්‍ෂුරාදිපස ය.) එයින් අන්‍ය තෙවිසි (23) රූපය ඉන් බැහැර හෙයින් බාහිරයැ යි ද, විෂය විෂයීන් වශයෙන් අරමුණු කරන හෙයින් අධ්‍යාත්ම පස හා විෂය රූප සත ද ඖදාරිකය යි ද එයින් අන්‍ය වූ සොළොස (16) සූක්‍ෂ්මය යි ද, ආලම්බන-ආලම්බනික නොවන හෙයින් ඒ සොළොසම දූරේ රූපය යි ද, විෂය-විෂයී වශයෙන් අරමුණු කරන හෙයින් ඖදාරික දොළස සන්තිකේ රූපය යි ද, කර්‍මාදි ප්‍ර‍ත්‍යයයෙන් නිපන් හෙයින් සතර මහා භූතය, චක්‍ෂුරාදි තෙළෙසය, කබලීකාරාහාරය යන අටළොස (18) නිෂ්පන්නය යි ද, අන්‍යවූයේ අනිෂ්පන්නය යි ද, මහා භූත ප්‍ර‍සාද හෙයින් චක්‍ෂුරාදි පස ප්‍ර‍සාදය යි ද, අන්‍යවූයේ අප්‍ර‍සාදය යි ද, ඊශ්වර භාවය කරන හෙයින් ප්‍ර‍සාද රූප පස ද, ඉත්‍ථින්‍ද්‍රිය, පුරිසන්‍ද්‍රිය, ජීවිතින්‍ද්‍රිය යන තුන දැයි අට ඉන්‍ද්‍රියයැ යි ද, අන්‍යවූයේ අනින්‍ද්‍රියයැ යි ද, ඒම තෘෂ්ණා-දෘෂ්ටි සම්භව කර්‍මයෙන් ගන්නා ලද හෙයින් උපාදින්නයයි ද අන්‍ය වූයේ අනුපාදින්න ය යි ද යනාදි ක්‍ර‍මයෙන් ද්විවිධ වේ.

 

නැවත සනිදර්‍ශන ත්‍රිකය, කර්‍මජ ත්‍රිකාදීන් ගේ වශයෙන් ත්‍රිවිධ වේ.

 

ඒ මෙසේයි :- එහි ඖදාරික රූප දොළස අතුරෙන් රූපාලම්බනය සනිදර්‍ශන සප්‍ර‍තිඝ ය. සෙසු එකොළොස අනිදර්‍ශන සප්‍ර‍තිඝය. සියලු සුඛුම රූප සොළොස අනිදර්‍ශන අප්‍ර‍තිඝ යි. මේය සනිදර්‍ශන ත්‍රිකය යැ.

 

කර්‍මයෙන් නිපන් ඉන්‍ද්‍රිය රූප අට හා හෘදය රූපය කර්‍මජ ය. අන්‍යසෘතු චිත්ත-ආහාර ප්‍ර‍ත්‍යයත්‍ර‍යයෙන් නිපන්නේ අකර්‍මජ ය. කිසිවකින් නූපන් ලක්‍ෂණ රූප නෛවකර්‍මනාකර්‍මජ ය.

 

චිත්තයෙන් නිපන් විඥාප්තිද්වය ය, අවකාශ ධාතුව ය, ලහුතාදි තුන ය, අවිනිර්‍භොගය යන පසළොස චිත්තජ ය. අන්‍ය ප්‍ර‍ත්‍යයයෙන් නිපන්නේ අචිත්තජ ය. කිසිවකින් නූපන්නේ නෙවචිත්තඡනාචිත්තජ යි.

 

අභාරයෙන් නිපන් ආකාශධාතු විකාර රූප අවිනිර්‍භොග යන දොළස අභාරජ ය. අන්‍ය ප්‍ර‍ත්‍යයයෙන් නිපන්නේ අනාහාරජ ය. කිසිවකින් නො නිපන්නේ නෙවආහාරඡනානාහාරජ යි.

 

සෘතුයෙන් නිපන් යට කී දොළස හා ශබ්දය ද සෘතුඡ ය. අන්‍ය ප්‍ර‍ත්‍යයයෙන් නිපන්නේ අනෘතුජ ය. කිසිවකින් නොනිපන්නේ නෛවසෘතුඡනානෘතුජරූප යි. කර්‍මාදි ත්‍රික වශයෙන් මෙසේ ත්‍රිවිධ යි.

 

නැවත දිට්ඨාදි - රූපරූපාදි - වත්‍ථාදි චතුක්ක වශයෙන් චතුර්විධ වේ.

 

ඒ මෙසේයි :- රූපායතනය දර්‍ශන විෂය දිට්ඨනම. ශබ්දායතනය ශ්‍ර‍වණ විෂය හෙයින් සුතනම. ගන්‍ධ-රස-ස්ප්‍ර‍ෂ්ටව්‍යායතන සම්ප්‍රාප්තග්‍රාහක ඉන්‍ද්‍රිය විෂය හෙයින් මුතනම. සෙස්ස විඥානයට ම විෂය හෙයින් විඥාන නම. මෙසේ දිට්ඨාදීන් චතුර්විධ ය.

 

(ආපෝ ධාතු වර්ජිත පෘථිවි ආදි භූත ත්‍ර‍ය ස්ප්‍ර‍ෂ්ටායතනය යි කීහ. අප් ධාතුව ස්පර්‍ශ නොවේ. (මේ පෙර විස්තර කරන ලදී.) අටවිසි රූපයන් අතුරෙහි අටළොස් නිෂ්පන්න රූප රූප ලක්‍ෂණ වශයෙන් රූප ද, රූප්පන ලක්‍ෂණ වශයෙන් රූප ද වේනුයි. රූපරූප නම. “තිලතෙලං දුක්ඛදුක්ඛං” යනුවෙනි. ආකාශ ධාතුව පරිච්ඡේද රූප නම. කාය-වාග් විඥප්ති පටන් කම්මඤ්ඤතාව තෙක් විකාර රූප නම. ජාති ජරා-භවඞ්ගරූප ලක්‍ෂණ රූප නමි. මෙසේ රූප-රූපාදි වශයෙන් සිව් වැදෑරුම් වේ.

 

හෘදය රූපය මනෝධාතු-මනෝ විඤ්ඤාණ ධාතුන්ට නිශ්‍ර‍ය වන හෙයින් වස්තු වේ. ද්‍වාර නොවේ. විඥප්ති ද්වය කර්‍මද්වාර හෙයින් ද්වාර වේ. ඒ ඇසුරුකොට චිත්තෝත්පාද නැති හෙයින් වස්තු නො වේ. ප්‍ර‍සාද රූප තමා ඇසුරු කළ චක්‍ෂුර්විඥානාදියට වස්තු ද, අන්‍ය්‍යන් ඇසුරු කළ සම්පටිච්ඡනාදියට ද්වාරද වේ. සෙසු රූප කී ක්‍ර‍මයට විපරීත හෙයින් වස්තු ද නො වේ. ද්වාර ද නොවේ. මෙසේ වස්ත්‍වාදි වශයෙන් සිව්වැදෑරුම් වේ.

 

නැවත ඒකජය, ද්විජය, තිජය, චතුජය, නකුතොචිජය යි මොවුන් ගේ වශයෙන් පස්වැදෑරුම් වේ. ඉන් හෘදය වස්තුව හා ඉන්‍ද්‍රිය රූප කර්‍මයෙන් ම නිපන් හෙයින් කර්‍මජ වේ. විඥප්ති ද්වයය චිත්තජ ම වේ. මේ එකජ නම් වේ. කලෙක සවිඤ්ඤාණක විසයෙහි චිත්තයෙන් හා අවිඤ්ඤානක විසයෙහි සෘතුවෙන් නිපන් ශබ්දය ද්විජ වේ. සෘතු-චිත්ත ආහාරයෙන් නිපන් ලහුතාදි ත්‍ර‍යය තිජ වේ. කර්‍මාදි සතරින් හටගත් ලක්‍ෂණ රූප වර්ජිත අවශේෂ රූප චතුජ වේ.

 

විශේෂ :- මේ රූප එකක් එකවිට ප්‍ර‍ත්‍යය කීපයකින් උපදවන්නේ නො වේ. ඒ ඒ ප්‍ර‍ත්‍යයයන් එක එක රූපයක්ම වෙන වෙනම උපදවන්නේ ය.

 

ලක්‍ෂණ රූපය කිසි රූප ජනක ප්‍ර‍ත්‍යයෙකින් උපදනේ නොවේ. මේ වනාහි නකුතොචිජ නම් වේ.

 

කවරහෙයින්ද යත් :- උත්පාදයට උත්පාදයක් නැති හෙයිනි. උත්පන්නයා ගේ මේරීම හා භේදය ද අනුත්පන්න ය.

 

උත්පාද නැතිකල ජරා මරණ කෙසේ වේ ද පරිපාකභේද මත්තං’යි මත්ත ශබ්දය ගැනීමෙන් ජරා-මරණයන් ගේ උත්පාදභාවය නො වේ.

 

(ජාති නම් ඉපදීම් මාත්‍ර‍ය ය. එයට අන්‍ය ජාතියක් නො විය හැකි ය. එසේ වන්නේ නම් ඒ ජාතිය ගේ ද අන්‍ය ජාතියක් විය යුතු ය. ඔහුගේ ද අන්‍ය ජාතියෙකැයි මෙසේ එහි නැවැත්මෙක් නො වේ. එහෙයින් ජාති ආදිය කිසිවකින් හට නො ගන්නේ ය. කරුණු මෙසේ හෙයින් “උත්පාදයා ගේ උත්පාදයෙක් නැතැ”යි අටුවා වචනය මනාව කීයේ වේ. එසේම උත්පාදයා ගේ ම මිහිකිරීම් මාත්‍ර‍ය වූ ජරාව ද, බිඳීම් මාත්‍ර‍ය වූ අනිත්‍යතාව ද ස්ත්‍රින්‍ද්‍රියාදි කිසි ප්‍ර‍ත්‍යයයෙකින් හට නො ගනී. ‘එසේ වන්නා ජාතිය ගේ කිසිවකින් ජාත බව කෙසේ වේද’ යනු සඳහා පෙළෙහි වදාළ “රූපායතනං” යනාදිය කීහු.)

 

‘රූපායතනය, සද්දායතනය, ගන්‍ධායතනය, රසායතනය, ඵොට්ඨබ්බායතනය, ආකාසධාතුව, ආපොධාතුව, රූපයා ගේ ලහුතාය, මුදුතාය, කම්මඤ්ඤතාය, රූපයා ගේ උපචයය, සන්තතිය, කබලීකාරාහාරය යන මේ ධර්‍ම චිත්තසමුට්ඨාන යැ, යනාදීන්හි රූපායතනාදී රූපයන්ට ජනක ප්‍ර‍ත්‍යය වූ චිත්තාදිය කෘත්‍යානුභාව ක්‍ෂණයෙහි දක්නා ලද හෙයින් රූපොත්පාදනයෙහි අවියෝග වූ චිත්තාදීන් ගේ ප්‍ර‍ත්‍යයභාවය යි සැලකිය යුතු.

 

කෘත්‍යානුභාව ක්‍ෂණයෙහි උපදනා රූපායතනාදීන් ගේ විකාරත්‍වයෙන් ගැනීම සඳහා ජාතිය ගේ කිසි ප්‍ර‍ත්‍යයෙකින් උපන් බව විඥප්ති ආදීන් ගේ චිත්තසමුට්ඨාන බව මෙන් පාළියෙහි අනුදන්නා ලදී.

 

නිෂ්කර්‍මය :- යම්කිසි ප්‍ර‍ත්‍යයෙකින් උපදනා රූපාදිය ඔවුන් ප්‍ර‍ත්‍යය වන මොහොතෙහි විනා ඉන් පෙර හෝ පසුව නො ලැබෙන හෙයින් ඒ ප්‍ර‍ත්‍යයෙන් උපදිතැයි දැනගනී. ජාතිය ද එසේ මැයි.

 

මේ වනාහි රූපස්කන්‍ධයෙහි විස්තර කථා මුඛය යි.


විඥාන ස්කන්ධය (2)

 

රූපස්කන්‍ධයෙන් අන්‍ය වූ සතර නාමස්කන්‍ධයන් අතුරින් ‘ආලම්බන රසානුභවන ලක්‍ෂණ වූ’ යම් ස්වභාවයෙක් වේ නම් ඒ සියලු ධර්‍ම එක්රැස් කොට වේදනාස්කන්ධය යි ද,

 

නීලවර්‍ණාදි වශයෙන් හැඳිනීම ලක්‍ෂණ කොට ඇති යම් ධර්‍ම කෙනෙක් වෙත් නම් ඒ සියල්ල එක්රැස් කොට සංඥා ස්කන්ධය යි ද,

 

සකස් කිරීම හෝ උත්සාහ කිරීම ලක්‍ෂණ කොට ඇති යම් ධර්‍ම කෙනෙක් වෙත් නම් ඒ සියලු ධර්‍ම සමූහය එක්රැස් කොට සංස්කාරස්කන්‍ධය යි ද,

 

අරමුණු බැලීම් සංඛ්‍යාත දැනීම ලක්‍ෂණ කොට ඇති සියල්ල නුවණින් එක්රැස් කොට විඥානස්කන්‍ධය යි ද, දත යුතු වේ.

 

මේ සතර නාමස්කන්‍ධ අතුරින් විඥානස්කන්‍ධය මනාව දැනගත් කල්හි ඉතිරි ස්කන්‍ධ ත්‍ර‍යය සුවසේ දත හැකිවන හෙයින් මෙහිලා විඥානස්කන්‍ධය මුල් කොට වර්‍ණනා කරන්නෙමු.

 

පළමු කී විඥානස්කන්‍ධයා ගේ ලක්‍ෂණ සූත්‍ර‍ දක්වා සමර්‍ථනය කරනු පිණිස “කිඤ්ච” යනාදිය කීහු.

 

හුදු විජානන ලක්‍ෂණය විඥාන යැ. එයින් වදාළහ. “විජානාති විජනාති ඛො ආවුසො තස්මා විඤ්ඤාණන්ති වුච්චති”[480] ‘ඇවැත්නි! අරමුණු දැනගන්නා හෙයින් විඥානය යි කියනු ලැබේ. යම් ස්වභාව ධර්‍මයෙක් විජානනාර්‍ථයෙන් විඥාන වේ නම් එය ම අරමුනු සිතීම් අර්ථයෙන් ‘චිත්ත’ නමුදු වේ. අරමුණු හඟනා අර්‍ථයෙන් ‘මනෝ’ නමුදු වේ. මෙසේ විඥාන-චිත්ත-මනෝ යනු එකාර්‍ථ ය.

 

මෙතෙකින් ස්කන්‍ධ වශයෙන් ද, භේද වශයෙන් ද, පර්‍ය්‍යාය වශයෙන් ද, විඥානය ප්‍ර‍කාශ කරන ලදි. පෙර කී පද තුන ම අර්ථ වශයෙන් එකක් වුව ද ජාති වශයෙන්

 

1.  කුශලය

2.  අකුශලය

3.  අව්‍යාකෘතයැ යි ත්‍රිවිධ වේ.

 

(ඔවුන් අතුරින්)

(1) කුශලය

(අ) භූමි භේදයෙන්

i කාමාවචරය

ii රූපාවචරය

iii අරූපාවචර

iv ලෝකෝත්තරයැ යි සතර වැදෑරුම් වේ.

 

(i) (ඔවුනතුරින්) කාමාවචර කුශලය, සොමනස්ස - උපෙක්ඛා - ඤාණ සඞ්ඛාර භේදයෙන් අටවැදෑරුම් වේ.

 

ඒ මෙසේ යි.

(1) සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාරික චිත්තය

(2)    ”        ”       ”       සසඞ්ඛාරික        ”

(3)    ”        ”  ඤාණවිප්පයුත්ත අසඞ්ඛාරික     ”

(4)    ”        ”       ”       සසඞ්ඛාරික        ”

(5) උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාරික       ”

(6)    ”        ”       ”       සසඞ්ඛාරික        ”

(7)    ”        ”  ඤාණවිප්පයුත්ත අසඞ්ඛාරික     ”

(8)    ”        ”       ”       සසඞ්ඛාරික        ”

කියායි.

 

(1) යම් කලෙක ‘දෙය්‍ය ධර්‍ම - ප්‍ර‍තිග්‍රාහක - දේශ - කාල - කල්‍යාණ මිත්‍රාදි සම්පත් හෝ, අන්‍යවූ ද ශ්‍ර‍ද්ධා බහුලතාය, පරිශුද්ධ දෘෂ්ටිතාය, කුශල ක්‍රියාවෙහි ආනිසංස දැකීම ය, සොමනස්ස පටිසන්‍ධිය යනාදි සොමනස්ස හේතුවක් ලැබ තුටු පහටුවැ; ‘දෙන ලද්දෙහි විපාක ඇත’ යනාදි ක්‍ර‍මයෙන් පැවැති සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට ගෙන; මුක්ත චාගතාදි ගුණයෙන් යුක්තවැ පසුබට නොවැ තමාම උත්සාහවත් වූයේ; දානාදි පින්කම් කෙරේ නම් එකල ඕහට ‘සොමනස්සසහගත-ඤාණසම්පයුත්ත - අසඞ්ඛාර’ යන පළමුවන චිත්තය උපදී.

 

(2) පෙර කී සේ තුටු පහටුව; සම්මාදිට්ඨිය පෙරටු කොට; අමුත්තචාගතාදිය නිසා පසුබට වූයේ මෙරමාවිසින් උත්සාහවත් කරවන ලද්දේ, පින්කම් කෙරේ නම් ඕහට දෙවන කුසල් සිත උපදී.

 

(මෙහි තමා ගේ හෝ මෙරමා ගේ වශයෙන් පැවැති පූර්‍ව ප්‍රයෝගය සසඞ්ඛාරය යි කීයේ වේ.)

 

(3) යම් කලෙක මවු-පියාදීන් විසින් කරනු ලබන දන්දීම් ආදි ප්‍ර‍තිපත්ති දැකීමෙන් පුරුදු වූ බලායෙක් භික්‍ෂූන් දැක සතුටින් අතවූවක් වහා දේද; එකල ඕහට තුන්වන කුසල් සිත උපදී.

 

(5) යම් කලෙක ‘දෙව, වඳුවයි’ මවු - පියාදීන් විසින් මෙහෙයන ලද්දේ; ඒ සතුටින් කෙරේ නම්, එකල සතරවන කුසල් සිත උපදී.

 

(මෙහි බාලයා ගැනුණේ සම්මාදිට්ඨි වශයෙන් නුවණ ඉපදවීමට (ආනිසංසය සැලකීමට) අසමර්‍ථ හෙයින් ඤාණවිප්පයුත්ත බව් දැක්වීමට ය.)

 

(5,6,7,8) යම් කලෙක ‘දෙය්‍යධර්‍ම-ප්‍ර‍තිග්‍රාහකාදි සම්පත් නොලැබීමෙන් හෝ, වෙන යම්කිසි ‘සොමනස්ස’ හේතුවක් නො වීමෙන් හෝ, මධ්‍යස්ථ වූයේ, පෙර කී සේ දානාදි පිංකම් කෙරේ නම්; පිළිවෙළින් උපෙක්ඛා සහගත කුසල් සිත් සතර උපදී. මෙසේ සොමනස්ස - උපෙක්ඛා - ඤාණසම්පයුත්ත - විප්පයුත්ත - අසංඛාර - සසංඛාර භේදයෙන් කාමාවචර කුශලය අටවැදෑරුම් වේ.

 

ii රූපාවචර කුශලය ද ධ්‍යානාඞ්ග භේදයෙන් පස්වැදෑරුම් වේ.

(1) චිත්තක - විචාර - පීති - සුඛ - එකග්ගතා සහිත පඨමජ්ඣාන කුසල චිත්තය.

(2) විචාර - පීති - සුඛ - එකග්ගතා සහිත දුතියජ්ඣාන කුසල චිත්තය.

(3) පීති - සුඛ - එකග්ගතා සහිත තතියජ්ඣාන කුසල චිත්තය.

(4) සුඛ - එකග්ගතා සහිත චතුත්‍ථජ්ඣාන කුසල චිත්තය.

(5) උපෙක්ඛා - එකග්ගතා සහිත පඤ්චමජ්ඣාන කුසල චිත්තය කියායි. විස්තර යට ධ්‍යාන කථාහි කී සෙයින් දතයුතු.

 

iii අරූපාවචර කුශලය ද උපෙක්ඛා එකග්ගතා - සංඛ්‍යාත සතර අරූප ධ්‍යානයන් හා සමාභෝගයෙන් නොහොත් අරූප ධ්‍යානයන් ගේ ආලම්බන භේදයෙන් යට ආරුප්‍ය කථාවෙහි කී පරිදි,

 

(1)   ආකාසානඤ්චායතන ධ්‍යානය හා සම්ප්‍ර‍යුක්ත වූ ප්‍ර‍ථමාරූප්‍යය,

(2)  විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය හා සම්ප්‍ර‍යුක්ත වූ ද්‍විතියාරූප්‍යය,

(3)   ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය හා සම්ප්‍ර‍යුක්ත වූ තෘතියාරූප්‍යය,

(4)  නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය හා සම්ප්‍ර‍යුක්ත වූ චතුර්‍ථාරූප්‍යයැ යි මෙසේ සිව්වැදෑරුම් වේ.

 

iv ලෝකෝත්තර කුශලය ද

(1)   සොතාපත්ති මග්ග

(2)  සකදාගාමි මග්ග

(3)   අනාගාමි මග්ග

(4)  අරහත්ත මග්ග

 

යන භේදයෙන් සතර මාර්‍ගයෙහි යෙදීම් වශයෙන් සතර වැදෑරුම් වේ. විස්තර මතු පහළ වේ. මෙසේ කුශල චිත්තය ප්‍ර‍ථම කොට එක්විසි වැදෑරුම් වේ. (මේ මධ්‍යම පුඩු වශයෙනි.)

 

2. අකුශල කර්‍මය භූමි වශයෙන් ඒකවිධ වේ. හේ කාමාවචර මැයි.

 

විශේෂ :- අභයගිරි වැස්සේ රූපාවචර අරූපාවචර අකුසල්ද ඇතැයි යෙති’ එය වළකනු සඳහා කාමාවචරයැයි කීහ.

 

නිර්‍ණය :- රූපා‘රූප භූමියෙහි ද, අකුසල් උපදිතත්, ප්‍ර‍වෘත්ති විපාක දෙතත්, ප්‍ර‍තිසන්‍ධි විපාක නො දෙන බැවින් හා, කාමතෘෂ්ණාවෙන් යුක්ත වීම කාමාවචර වීමේ එකම හේතුව හෙයින් කාමාවචරය යි කියන ලදි.

 

රූපා‘රූප තෘෂ්ණා විෂයත්‍වය රූපා‘රූප භවයට කාරණ වන්නාක් මෙනි.

 

අකුශලය භුමි හෙයින් ඒකවිධ ය. කාමාවචර ය.

 

මූල හෙයින් (අ) ලෝභ, (ඉ) දෝස, (උ) මෝහයන් ගේ වශයෙන් ත්‍රිවිධ වේ. සුප්‍ර‍තිස්ථිත භාවයට කාරණ හෙයිනි. එහි ලෝභ මූලය හා ද්වේෂ මූලය අසාධාරණ මූල වශයෙන් (ඒ ඒ සිත්වලට ම නියත වශයෙන්) දැක්වූහ. මෝහය වූ කලී ලෝභ මූලාකාදියෙහි ද යෙදෙතුදු හුදෙක් මෝහ මූලික සිත්හි ලෝභාදිය නො යෙදෙන හෙයින් හුදු මෝහ මූලික වේ. එහි ලෝභ මූලය සොමනස්ස - උපෙක්ඛා භේදයෙන් ද, දිට්ඨිගත සම්පයුත්ත - විප්පයුත්ත භේදයෙන් ද, අසඞ්ඛාර - සසඞ්ඛාර භේදයෙන් ද, අට වැදෑරුම් වේ.

 

ඒ මෙසේයි.

(අ)

(1) සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසඞ්ඛාරික චිත්තය

(2)    ”        ”      ”       ”     සසඞ්ඛාරික       ”

(3)    ”        ”  දිට්ඨිගත විප්පයුත්ත අසඞ්ඛාරික     ”

(4)    ”        ”      ”       ”     සසඞ්ඛාරික       ”

(5) උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසඞ්ඛාරික       ”

(6)    ”        ”        ”          ”   සසඞ්ඛාරික         ”

(7)    ”        ”  දිට්ඨිගත විප්පයුත්ත අසඞ්ඛාරික       ”

(8)    ”        ”      ”       ”     සසඞ්ඛාරික       ”

කියායි.

 

දිට්ඨිගත, මෙහි දිට්ඨිය මැ දිට්ඨිගත යැ. “ගූථගත” යනාදිය මෙනි. නොහොත් ගතයුතු වස්තුවක් නො වූයෙන් විපරීත කොට ගන්නා ලද්ද හෝ, මෙය මැ සත්‍ය ය, අනෙක අසත්‍යයැ යි අභිනිවේශ වශයෙන් පැවැති දෘෂ්ටියෙන් ගන්නා ලද්දම හෝ දිට්ඨිගත නමි.

 

විස්තර :- පස්කම් සැප විඳීමෙහි ආදීනව නැතැයි මිසදිටු පෙරටු කොට තුටු පහටුවැ ලෝභයෙන් යුතුවැ, තමා ගේ හෝ මෙරමා ගේ පූර්‍ව ප්‍රයෝග නැතිවැ, ස්වභාව තීක්‍ෂණ වූ සිතින් පස්කම්රස සෙවුනාහට හෝ, ‘දුන් දෙයෙහි විපාක නැතැයි’ යනාදීන් දශවස්තුක මිථ්‍යාදෘෂ්ටිය පෙරටු කොට ගන්නාහට හෝ දිට්ඨමඞ්ගලිකාදිය සාර වශයෙන් ගන්නාහට හෝ, කර්‍ම විපාකාදියට ඉඳුරා විරුද්ධ වූ මිථ්‍යා ප්‍ර‍තිපත්තීන් සාරවශයෙන් ගන්නාහට හෝ පළමුවැනි අකුසල් සිත උපදනේ යි.

 

(2) යම් කලෙක පූර්‍ව ප්‍රයෝගයෙන් පසුබට වූ හෝ මෙරමා විසින් උත්සාහවත් කරන ලදුවැ පෙරකී සේ මිථ්‍යාදෘෂ්ටි සහිත වූ සිතින් යුක්තවූයේ ද එකල දෙවැනි අකුසල් සිත උපදී.

 

(3) යම් කලෙක මිථ්‍යාදෘෂ්ටියෙන් මිශ්‍ර‍ නොවැ හුදෙක් තුටු පහටුවැ කාම සේවනාදිය හෝ කෙරේ ද, පරසම්පත් තමහට අභිමුඛ කොට හෝ සිතා ද, මෙරමා සතු බඩු පැහැර ගන්නේ හෝ වේද, එකල තුන්වන අකුසල් සිත උපදී.

 

(4) යම්කලෙක පෙර කීසේ මිථ්‍යාදෘෂ්ටිය පෙරටු කොට නො ගෙන හුදෙක් තුටු පහටුවැ පසුබට සිතින් මෙවුන්දම් සෙවීම් ආදිය හෝ කෙරේ ද, එකල සතරවන අකුසල් සිත උපදී.

 

යම්කලෙක පඤ්චකාම සම්පත් ආදියෙහි අසම්පූර්‍ණත්‍වයෙන් හෝ, සෙසු සොම්නස් හේතූන් නො වීමෙන් හෝ මැදහත්වැ යටකී සේ අකුශල කර්‍ම කෙරේ ද? එකල පිළිවෙළින් 5-6-7-8 වැනි අකුසල් සිත් උපදී.

 

මෙසේ සොමනස්ස-උපෙක්ඛා වේදනා හෙයින් ද, දිට්ඨිගත සම්පයුත්ත - විප්පයුත්ත විසින් ද, අසඞ්ඛාර - සසඞ්ඛාර විසින් ද, ලෝභ මූලික සිත් අටවැදෑරුම් වේ.

 

(ඉ) දොස මූලික සිත් :-

(1) දොමනස්සසහගත පටිඝ සම්පයුත්ත අසඞ්ඛාරික චිත්තය

(2)       ”            ”     සසඞ්ඛාරික චිත්තයැ යි ද්‍විවිධ යැ.

 

විස්තර :- (1) අසතුටට හේතු වූ කරුණු නිසා දොම්නස් වේදනාවෙන් හා එහෙයින් ම ක්‍රෝධයෙන් ද යුක්තවැ ස්වභාව තීක්‍ෂණ වූ කල පළමුවැනි ද්වේෂ මූලික අකුශලය වේ.

 

(2) එසේ මැ මෙරමා ගේ හෝ තමා ගේ පූර්‍වප්‍රයෝග සහිත වූයේ දෙවැනි සිත උපදී. ප්‍රාණඝාතාදියෙහි තීක්‍ෂණ මන්‍ද වශයෙන් පැවැත්මෙහි භෙද දතයුතු.

 

(උ) මෝහ මූලික සිත් :-

(1) උපේක්‍ෂා වේදනාවෙන් යුත් විචිකිච්ඡා සම්ප්‍ර‍යුක්ත සිතය

 

(2) උපේක්‍ෂා වේදනාවෙන් යුත් උද්ධච්ච සම්පයුත්ත සිතයැයි දෙකෙකි.

(මේ දෙසිත මෝහ මූලික හෙයින් අතිමූළ්හ වේනුයි’ මෝමූහ යයි කීය. අරමුණෙහි චඤ්චල බැවින් හා දමාගසන ලද්දක් මෙන් වන හෙයින් ස්වභාව තියුණු බවක් හෝ උත්සාහවත් කරවිය යුතු බවක් නැති හෙයින් මෙහි සඞ්ඛාර භේදයෙක් නැති.) සැකය හා නොසන්සුන් බව මේ දෙකෙහි ස්වභාවය යි.

 

3. අව්‍යාකෘත චිත්තය ද

(1) විපාකය

(2) ක්‍රියායැ යි දෙපරිදි වේ.

 

එහි විපාක චිත්තය භූමි වශයෙන්

(i) කාමාවචරය

(ii) රූපාවචරය

(iii) අරූපාවචරය

(iv) ලෝකෝත්තරයැ යි සිවුවැදෑරුම් වේ.

 

ඔවුනතුරින් (1) කාමාවචර විපාකය

(i) කුසල විපාකය

(ii) අකුසල විපාකයැ යි දෙපරිදි වේ.

 

i කුසල විපාකය ද

(අ) අහේතුක විපාකය,

(ආ) සහේතුක විපාකයැ යි දෙපරිදි වේ.

 

(1)   (අ) අලෝභාදි හේතු රහිත වූයේ අහේතුක ය.

ඒ අහේතුක විපාක ද

(1)   උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය

(2)  එසේම සොතවිඤ්ඤාණය

(3)   එසේම ඝානවිඤ්ඤාණය

(4)  එසේම ජිව්හා විඤ්ඤාණය

(5)   සුඛ සහගත කාය විඤ්ඤාණය

(6)   උපෙක්ඛා සහගත සම්පටිචඡන (මනෝධාතු) ය

(7)   උපෙක්ඛා සහගත සන්තීරණය

(8)   සොමනස්ස සහගත සන්තීරණ

(මනොවිඤ්ඤාණධාතු දෙසිත) යැයි අටවැදෑරුම් වේ.

 

(අ) (i) චක්ඛුවිඤ්ඤාණය, චක්‍ෂුඃප්‍ර‍සාදය ඇසුරු කොට රූපාලම්බනය දැකීම් ලක්‍ෂණය යැ. රූප මාත්‍ර‍ය අරමුණු කිරීම් කෘත්‍යය යැ. රූපාලම්බනය වැටහනෙ ආකාරය යැ. තමහට අනතුරුව උපදනා (චක්ඛු විඤ්ඤාණ චිත්තයට අනන්තර වීම් වශයෙන් උපකාර වන හෙයින් පඤ්චද්වාරාවජ්ජන චිත්ත සංඛ්‍යාත ක්‍රියා මනෝධාතුහු ගේ අපගමය ආසන්න කාරණය යි.

 

(2-5) ශ්‍රෝත්‍ර‍විඥානාදීහු ද, ශ්‍රොත්‍රාදිය නිඃශ්‍රිත ශබ්දාදිය දැනීම් ලක්‍ෂණය හ. ශබ්දාදීය අරමුණු කිරීම් කෘත්‍යය හ. ශබ්දාදිය පිළිගැනීම වැටහෙන ආකාරය හ. ශබ්දාදිය අරමුණු කොට ඇති කිරිය මනෝධාතුහු ගේ අපගමය ආසන්න කාරණය හ.

 

චක්‍ෂුර්විඥානාදියට අනතුරු වූ (6) (මනෝධාතුව) සම්පටිච්ඡන චිත්තය රූපාදි ආලම්බන දැනගැනීම් ලක්‍ෂණය යැ. රූපාදිය පිළිගැනීම් කෘත්‍යය යැ. එබඳු වූ රූපාදිය පිළිගැනීම වැටහෙන ආකාරය යැ. චක්ඛු විඤ්ඤාණාදීන් ගේ අපගමය ආසන්න කාරණය යි. එයට අනතුරු වැ (7-8) (අහේතුක විපාක මනොවිඤ්ඤාණ ධාතු දෙදෙන) සන්තීරණ සිත් දෙක ෂඩාලම්බනය දැනීම් ලක්‍ෂණයහ. සන්තීරණ - තදාරම්මණාදි කෘත්‍යයහ. එබඳු රූපාදිය තීරණය කිරීම වැටහෙන ආකාරය හ. හෘදය වස්තුව මැ ආසන්න කාරණය හ.

 

(මෙහි යටකීසේ “තංතං අනත්තරාතීත විඤ්ඤාණාපගම පදට්ඨානා” - ඒ ඒ සමීපයෙහි ඉක්ම ගිය සිත ආසන්න කාරණය යි. නො කියා හෘදය වස්තුව ආසන්න කාරණයැ යි. කීයේ සන්තීරණ ස්ථානය නිබද්ධ නො වන බැවිනි.) යට කී නයින් වනාහි “තංතං අනන්තරාතීත විඤ්ඤාණාපගම පදට්ඨානා” කියනුවට වටී මැයි. සන්තීරණ පදට්ඨානය නිබද්ධ නො වන බැවින් යට සිතට මෙන් පදට්ඨාන නො කියා හදයවත්‍ථු පදට්ඨාන යි’ කීහ. (යනු සන්නයි.)

 

සොමනස්ස - උපෙක්ඛා යෝගයෙන් ද, ද්විස්ථානික හා පඤ්චස්ථානික වශයෙන් ද සන්තීරණයා ගේ භේදය වේ.

 

ඒ එසේමැ යි :- මොවනුතුරින් (එකක්) සොමනස්ස සන්තිරණය ඒකාන්ත ඉෂ්ටාලම්බනයෙහි පවත්නා හෙයින් සොමනස්ස වේදනා සම්ප්‍ර‍යුක්තවැ සන්තීරණ වශයෙන් පඤ්චද්වාරයෙහි ද, තදාරම්මණ වශයෙන් ජවනාවසානයෙහි ෂඩ්ද්වාරයෙහි ම ද, පවත්නා හෙයින් ද්විස්ථානික යැ. (එකක්) උපෙක්ඛා සහගත සන්තීණය ඉෂ්ටමධ්‍යස්ථාලම්බනයෙහි පවත්නා හෙයින් උපෙක්ඛා සහගත වැ සන්තීරණ - තදාරම්මණ - පටිසන්‍ධි - භවාඞ්ග - චුති වශයෙන් පවත්නා හෙයින් පඤ්චස්ථානික යි.

 

විස්තර :- සෝමනස්ස සහගතසන්තීරණය, පඤ්චද්වාරයෙහි සම්පටිච්ඡන - වොත්‍ථපනයන් ගේ අතරෙහි සන්තීරණ ස්ථාන වශයෙන් ද, ෂඩ් ද්වාරයෙහි ජවන-භවාඞ්ගයන් අතරෙහි තදාලම්බන ස්ථානයෙහි දැයි ස්ථාන දෙකෙකද,

 

උපෙක්ඛා සහගත සන්තීරණය, ඉෂ්ට මද්‍යස්ථාලම්බනයෙහිදී පෙරකී ස්ථාන ද්වයෙහි හා ප්‍ර‍තිසන්‍ධි ආදි කාලයෙහි චුති-භවාඞ්ග අතරෙහි ප්‍ර‍තිසන්‍ධිස්ථානයෙහි ද, ජවන-ආවර්‍ජනයන් හෝ තදාලම්බන ආවර්‍ජනයන් හෝ, වොත්‍ථපන - ආවර්‍ජනයන් හෝ ප්‍ර‍තිසන්‍ධි - ආවර්‍ජනයන් හෝ අතරෙහි භවාඞ්ග ස්ථානයෙහි ද වේ. තදාලම්බන - ප්‍ර‍තිසන්ධීන් ගේ හෝ ජවන ප්‍ර‍තිසන්ධීන් ගේ හෝ අතරෙහි චුති ස්ථානයෙහි වේ.

 

කායප්‍ර‍සාදයට නිශ්‍ර‍ය වූ භූතයන් ගේ අති ඉෂ්ටස්ප්‍ර‍ෂ්ටවය නො වන්නා වූ භූතයන්ගේ ද ඝට්ටනය බලවත්වන හෙයින් කාය විඥාන සුඛ සහගත වේ. උපාදා රූපයන් ගේ ඝට්ටනය දුර්‍වල හෙයින් චක්ඛු විඤ්ඤාණාදිය උපෙක්ඛා සහගතමැ වේ.

 

මෙසේ අටවැදෑරුම් වූ කුසල අහේතුක විපාක විඤ්ඤාණය නියත-අනියත ආලම්බන වශයෙන් ද්විධ යැ. උපෙක්ඛා - සුඛ - සොමනස්ස භේදයෙන් ත්‍රිවිධ යි.

 

චක්‍ෂුරාදි විඥාන පස නියතයෙන් මැ පිළිවෙළින් රූපාදි පඤ්චාලම්බනයෙහි මැ පවත්නා හෙයින් නියතාලම්බනික යැ. සෙසු තුන අනියතාලම්බනිකයි. ඔවුනතුරිනුදු මනොධාතුව රූපාදි පඤ්චාලම්බනික යැ. මනෝ විඤ්ඤාණධාතු ද්වයය ෂඩාලම්බනික යි. කාය විඤ්ඤාණය සුඛ වේදනා යුක්ත යැ. (සන්තීරණ-තදාරම්මණ කෘත්‍ය සාධක) ද්විස්ථානික මනොවිඤ්ඤාණ ධාතුව (සොමනස්ස සහගත සන්තීරණය) සොමනස්ස යුක්ත යැ. සෙසු සය උපෙක්ඛා වේදනා යුක්තයි.

 

මෙසේ අහේතුක අෂ්ටකුශල විපාක දතයුතු.

 

(ඉ) සහේතුක විපාක, ත්‍රිහේතුක වශයෙන් අලෝභ-අදෝස-අමෝහ යන තුන හා, ද්විහේතුක වශයෙන් අලෝභ-අදෝස, දෙක ද යන විපාක හේතූන් හා සම්ප්‍ර‍යුක්ත වූවෝ සහේතුක විපාකයෝ යි. කාමාවචර කුශලයන් මෙන් විපාක ද සොමනස්ස - උපෙක්ඛා - ඤාණ-සඞ්ඛාර භේදයෙන් අටවැදෑරුමි. ඒ මෙසේ යි.

 

(1)   සෝමනස්සසහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාර චිත්තය

(2)     ”     ”          ”     සසඞ්ඛාර ”

(3)           ”     ”     ඤාණවිප්පයුත්ත අසඞ්ඛාර   ”

(4)      ”   ”          ”     සසඞ්ඛාර ”

(5)   උපෙක්ඛාසහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාර   ”

(6)      ”     ”          ”     සසඞ්ඛාර ”

(7)      ”     ”     ඤාණවිප්පයුත්ත අසඞ්ඛාර   ”

(8)      ”     ”          ”     සසඞ්ඛාර ”

 

මෙය (i) සම්ප්‍ර‍යුක්ත ධර්‍මයෙනුදු, (ii) අරමුණු හෙයිනුදු, (iii) ප්‍ර‍වෘත්‍යාකාරයෙනුදු කුශලයට විසදෘශ වේ.

 

(i) කුශලයෙහි කරුණා-මුදිතා සඞ්ඛ්‍යාත අප්‍ර‍මාණ්‍යයන් හා, සම්මාවාචා දි විරති තුන ද ඇතත්, විපාකයන් හි ඒ දෙක මැ නැති හෙයින් සම්ප්‍රයුක්ත වශයෙන් භේදය වේ.

 

(ii) කුශලය දානාදි වශයෙන් ෂඩාලම්බනයෙහි පවතී. විපාකය එසේ නොවැ පටිසන්ධි - භවාඞ්ග - චුති - තදාරම්මණ වශයෙන් කාමාවචර ධර්‍මයන්හි ඇතුළත් වූ ෂඩාලම්බනයෙහි පවතී.

 

(iii) ප්‍ර‍වෘත්ති ආකාරයෙන් වනාහි කුශලය, කර්‍මද්වාර වශයෙන් කායද්වාරාදියෙහි පවතී. විපාකය අවිඥප්ති ජනක හෙයින් කර්‍මද්වාරාදියෙහි නො පවතී, උත්පත්තිද්වාර වශයෙන් වනාහි පඤ්චද්වාර - මනොද්වාරයන්හි මහාවිපාකයන් ගේ තදාලම්බන වශයෙන් පැවැත්ම වේ.

 

තවද කුශලය ගති වශයෙන් පස් වැදෑරුම් වේ. විඥානස්ථිති වශයෙන් සත් වැදෑරුම් වේ. විපාකය තදෙකදේසයෙකම උපදනෙන් එසේ නොවේ.

 

තවද, අසඞ්ඛාර-සසඞ්ඛාර භේදය (i) ආගමන වශයෙන් ද, (ii) ප්‍ර‍ත්‍යය භේදයෙන් ද වේ.

 

(i) ආදාසතලයෙහි මුඛ නිමිත්ත මෙන් විපාකයා ගේ අසඞ්ඛාර - සසඞ්ඛාර භේදය කුශලයා ගේ වශයෙන් වේ. මුඛය චලනය වූකල මුඛ නිමිත්ත ද චලනය වන්නාක් මෙන් ද, මුඛය නිශ්චල වූකල මුඛ නිමිත්ත නිශ්චල වන්නාක් මෙනි. මේ ආචාර්‍ය්‍ය මතයෙකි.

 

(ii) බලවත් වූ කර්‍මාදි ප්‍ර‍ත්‍යයෙන් උපදවන ලද්දේ අසංස්කාරික ය. දුර්‍වල වූ කර්‍මාදි ප්‍ර‍ත්‍යයෙන් නිපදවන ලද්දේ සසංකාරික යි.

 

හීන-මධ්‍යම-ප්‍ර‍ණීත ඡන්‍දාදීන් උපදවන ලද කුශලයා ගේ විපාකය ද එසේ වන්නාක් මෙනි.

 

(පෙළෙහි ආ පරිදි අසඞ්ඛාර-සසඞ්ඛාර භේදයෙන් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් ගේ විශේෂයෙක් කුශල-විපාක පිළිබඳවැ නැති. එහෙත් විපාක ඉපදීමෙහි උත්සාහ සඞ්ඛ්‍යාත අවිද්‍යා-තෘෂ්ණාදි ක්ලේශ ඇති සන්තානයෙහි ම විපාක ඉපදවීමේ ශක්තිය කර්‍මයෙහි ඇතත් විපාකයෙහි නැති. එහෙයින් ම මුඛය මෙන් කර්‍මය ද, ආදාසතලයෙහි මුඛ නිමිත්ත මෙන් විපාකය ද දතුයුතු.)

 

ii අකුශල විපාක, හුදෙක් ලෝභාදි අකුශල හේතූන් හා අලෝභාදි කුශල හේතූන් කැළම නැති හෙයින් අකුශල විපාක ද අහේතුක මැයි.

භේද වනාහි

 

(1) උපෙක්ඛා සහගත චක්ඛුවිඤ්ඤාණය

(2)    ”       ”   සොත     ”

(3)    ”     ”     ඝාන ”

(4)    ”     ”     ජිව්හා ”

(5) දුක්ඛ සහගත කාය විඤ්ඤාණය

(6) උපෙක්ඛා සහගත (සම්පටිච්ඡන කෘත්‍යය ඇති) මනොධාතු ය.

(7) උපෙක්ඛා සහගත (සන්තීරණ) මනොවිඥානධාතුව දැ යි සත්වැදෑරුම් වේ.

 

හෙද ලක්‍ෂණාදි වශයෙන් කුශල අහේතුක විපාකයන්ට කී ලක්‍ෂණ ඇති. හුදෙක් කුශල විපාක ඉෂ්ට-ඉෂ්ට මධ්‍යස්ථ ආලම්බනික යැ. මෙය අනිෂ්ට - අනිෂ්ට මධ්‍යස්ථ ආලම්බනික යි. එහෙයින් කුශල විපාක උපෙක්ඛා-සුඛ-සොමනස්ස භේදයෙන් ත්‍රිවිධ යැත මෙය උපේකඛා, දුක්ඛ භේදයෙන් විවිධ යි. කුශල විපාකයන් ගේ උපේක්‍ෂාව ප්‍ර‍ණීත යැ. එහෙත් සැපය මෙන් ඉතා තීක්‍ෂණ නොවේ. අකුශල විපාකයෙහි උපේක්‍ෂාව හීන යැ. එහෙත් දුක්ඛය මෙන් ඉතා තීක්‍ෂණ නොවේ.

 

ඉතා ඉටු අරමුණෙහි හා, ඉටු මැදහත් අරමුණෙහි වේදනා භේදය ඇති හෙයින් සෝමනස්ස සහගත යැ, උපෙක්ඛා සහගතය යි කුශල විපාක අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව දෙපරිදි වුව ද, ඉතා අනිටු අරමුණෙහි හා ඉටු මැදහත් අරමුණෙහි වේදනා භේදය නැති හෙයින් අකුශල විපාක අහේතුක මනොවිඤ්ඤාණ ධාතුව එකස්වරූප මැ වේ. එහෙයින් අකුශල විපාක සප්තවිධ වේ.

 

එහි වේදනා භේදය වේ නම් ඉතා අනිස්ට හෙයින් දෝමනස්සය විය යුතු. එසේ වන්නා හෙද ප්‍ර‍තිඝය විනා නූපදනේ යි. මෙහි කාය විඤ්ඤාණය දුක්ඛ සහගත මැයි. එය කුශල විපාකයෙහි කියන ලද්දට විපර්‍ය්‍යාසවැ වේ. මේ අකුඅශල විපාක විෂයෙහි උපේක්‍ෂාව අකුශලයා ගේ විපාකය හෙයින් හීන යැ. එහෙත් දුඃඛය මෙන් ඉතා කටුක නො වුවද, දුඃඛ ස්වභවායෙන් පවතී, එහි උපේක්‍ෂා සහගත බව බලවත් පුරුෂයකු විසින් මැඩ ලන ලද දුර්‍වල පුරුෂයකු ගේ මැදහත් වීම මෙනි.

 

මෙසේ අකුශල විපාක සත හා, පෙර කී කුශල විපාක සොළස දැයි කාමාවචර විපාක තෙවිසි (23) වැදෑරුම් වේ.

 

(2) රූපාවචර විපාක, රූපාවචර විපාකය ද කුශලය මෙනි. ප්‍ර‍ථම ධ්‍යානාදීන් විසින් පඤ්චවිධ යි. එහෙත් කුශලය සමාපත්ති වශයෙන් ජවන වීථියෙහි පවතී, විපාකය උප්පත්තියෙහි පටිසන්‍ධි - භවාඞ්ග - චුති වශයෙන් පවතී. (එහෙත් පඤ්චමධ්‍යාන අභිඥා චිත්ත ය ධ්‍යානයා ගේ ආනිසංසමැ වන හෙයින් විපාකයක් නැත්මැයි.)

 

(3) අරූපාවචර විපාක, අරූපාවචර විපාකය ද කුශලය මෙන් කසිණුග්ඝාටිමාකාසාදි වසයෙන් ආලම්බන භේදයෙන් චතුර්විධ වේ. ප්‍ර‍වෘත්ති භේදය ද රූපාවචරයෙහි කීසේ ය.

 

(4) ලෝකුත්තර, ලෝකෝත්තර විපාකය ද චතුමාර්‍ග - සම්ප්‍ර‍යුක්ත වූ කුශල චිත්තයා ගේ ඵල හෙයින් චතුර්විධ වේ. හෙද මාර්‍ග වීථි වශයෙන් හා ඵල සමාපත්ති වීථි වශයෙන් ද්විවිධ වේ. හෙද මාර්‍ග වීථියෙහි දෙතුන් වරක් හා ඵල සමාපත්ති වීථියෙහි අප්‍ර‍මාණවැ පවතී.

 

මෙසේ චතුර්විධ භූමියෙහි සතිස් (36) වැදෑරුම් විපාක විඥානය වේ.

 

3. (2) ක්‍රියා සිත්, i කාමාවචර ii රූපාවචර iii අරූපාවචර යැයි (ලොකුත්තර ක්‍රියා නැති හෙයින්) භූමි භේදයන් ත්‍රිවිධ වේ.

 

(ඵල චිත්තය ඒකාන්තයෙන් අනන්තර ඵල බැවින් හා ලොකෝත්තර මාර්‍ග චිත්තය එක වරක් පමණක් උපදනා හෙයින් හා නැවත නැවත ඉපදීම නිෂ්ඵල හෙයින් ලොකෝත්තර ක්‍රියා සිත් කැලම නැති.)

 

i කාමාවචර ක්‍රියා සිත් (අ) අහේතුකය, (ඉ) සහේතුක යයි ද්විවිධය.

 

(අ) ලෝභාදි ක්‍රියා හේතු රහිත වූයේ අහේතුකය.

 

එය (1) (මනෝධාතු) උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජන ය, (2) (මනොවිඤ්ඤාණ ධාතු) එසේ ම මනොද්වාරාවජ්ජන යැයි ද්විවිධ ය.

 

(1) චක්ඛුවිඤ්ඤාණාදි විපඤ්ච විඤ්ඤාණයට පෙරටුවැ රූපාදි පඤ්චාලම්බන විජානන ලක්ෂණ වූයේ මනෝධාතු ය.

 

මනනමත්තාධාතු - මනෝධාතු” යි (විශිෂ්ට මනන කෘත්‍යයක් නැති හෙයින්) මනන මාත්‍ර‍ය හෙයින් මේ මනෝ ධාතුය. එහෙයින් ම මෙය මනොවිඤ්ඤාණයට ප්‍ර‍ත්‍යය නොවේ. (විස්තර ධාතුනිර්‍දෙශයේ ය.)

 

එය චිත්තසන්තානය රූපාදි අරමුණට නැමීම හෝ, භවාඞ්ග අවස්ථාවෙන් පෙරළා අන් ආකාරයකට නැමීම් කෘත්‍යය යැ. රූපාදියට අභිමුඛ කිරීම වැටහෙන ආකාරය යැ. භවාඞ්ග සන්තතිය සිඳීම ආසන්න කාරණය යි. ඉෂ්ටාදි සියලු අරමුණෙහි (විෂය රස අනුභව නොකට හැකි හෙයින්) උපෙක්ඛා සහගත මැ වේ.

 

(2)  මනෝවිඤ්ඤාණ ධාතුව වනාහි (i) සාධාරණය

(ශෛක්‍ෂා‘ශෛක්‍ෂ සියල්ලනට උපදනා හෙයිනි.)

 

(අශෛක්‍ෂයනට පමණක් උපදනා හෙයිනි) (ii) අසාධාරණ යැයි ද්විවිධ ය.

 

එහි (i) සාධාරණ මනෝවිඤ්ඤාණ ධාතුව (උපෙක්ඛා සහගත මනොද්‍වාරාවජ්ජනය, උපෙක්ඛා සහගත අහේතුක ක්‍රියා මනෝවිඤ්ඤාණ ධාතුව) ෂඩාලම්බන දැනගැනීම් ලක්‍ෂණය යැ. පඤ්චද්වාරයෙහි වොත්‍ථපනය හා, මනොද්වාරයෙහි මනොද්වාරාවර්‍ජනකෘත්‍යය යැ. පඤ්චද්‍වාර - මනොද්වාරයන්හි වොත්‍ථාපන මනොද්වාරාවජ්ජනයන් වැටහෙන ආකාර ඇත්තේ ය. පඤ්චද්වාරයෙහි වොත්‍ථාපන කාලයෙහි සන්තීරණ කෘත්‍ය සාධක තුන් අහේතුක විපාක මනොවිඤ්ඤාණ ධාතුන් ගේ ද, මනොද්වාරයෙහි භවාඞ්ගයා ගේ ද, අපගමය ආසන්න කාරණය යි.

 

(ii) අසාධාරණ මනොවිඤ්ඤාණ ධාතුව (3) සොමනස්ස සහගත හසිතුප්පාදය (අහේතුක ක්‍රියා චිත්තය) ෂඩාලම්බනය දැනීම් ලක්‍ෂණය යැ. රහතුන්ට අනෞදාරිකාලම්බනයෙහි සිනහ ඉපදවීම කෘත්‍යය යැ. එසේ බව වැටහෙන ආකාරය යැ. ඒකාන්තයෙන් හෘදය වස්තුව ආසන්න කාරණය යි.

 

විශේෂ:- රහතුන්ට හැර අන්‍යයන්ට හසිතුප්පාද චිත්තයක් නැති හෙයින් මේ සිත එනම් වී. අන්‍ය වූ කාමාවචර සොමනස්ස සහගත කුසල් - අකුසල් - ක්‍රියාසිත් පෘථග්ජනයන්ට හා ශෛක්‍ෂ - අශෛක්‍ෂයන්ට සිනහ ද උපදවන්නත් මේ සිත විචාරණ ප්‍ර‍ඥාරහිත වැ කාමාවචර අප්‍ර‍ණීතාලම්බනයෙහි අශෛක්‍ෂයනට සිනහ මාත්‍ර‍යක් පහළ කෙරෙමින් උපදී.

 

භාග්‍යවතුන් වහන්සේට ද පූර්‍වෙනිවාසඥානය, අනාගතංශඥානය, සර්‍වඥතාඥානය යන මොවුන්ට අනුව ම සිනහ පහළ වන හෙයින් මේ ඥානානුපරිවර්තිය යි. අර්ථ කථාවන්හි “තෙසං ඤාණානං චිණ්ණාපරියන්තෙ ඉදං චිත්තං භාවසමානානං උප්පජ්ජති”[481] යි කියන ලදී.

 

මෙසේ කාමාවචර අහේතුක ක්‍රියා චිත්තය ත්‍රිවිධ ය.

 

(ඉ) සහේතුක ක්‍රියා චිත්තය ද, කුශලය මෙන් සොමනස්සාදි භේදයෙන් අට වැදෑරුම් වේ.

 

හුදෙක් කුශලය, ශෛක්‍ෂයනට හා පුහුදුනට උපදී. මේ ක්‍රියාසිත් රහතුන්ට පමණක් උපදී. ශෛෂ-පෘථග්ජනයන්ට උපන්කල විපාක ඉපදවීමට සමර්ථ වේ. රහතුනට උපන්කල එසේ සමර්ථ නොවන හෙයින් ක්‍රියා මාත්‍ර‍ වේ. මේයැ වෙනස.

 

මින් ප්‍ර‍ත්‍යය විකලත්‍වයෙන් අවිපාකත්‍වයට පැමිණි කුශලා‘කුශලයන් ගේ ද ක්‍රියා බවට පැමිණීම වළකන ලදී. මෙසේ කාමාවචර ක්‍රියා චිත්තය එකොළොස් (11) වැදෑරුම් වේ.

 

(ii) රූපාවචර ක්‍රියා චිත්තය ද කුශලය මෙන් පස් වැදෑරුම් වේ.

 

(iii) අරූපාවචර ක්‍රියා චිත්තය ද කුශලය මෙන් සතර වැදෑරුම් වේ. මෙහිදු ක්‍රියායෙහි කුශලයට වෙනස රහත්නට උපදනා වශයෙනි.

 

මෙසේ කාම-රූප-අරූප භූමීන්හි ක්‍රියා චිත්තය විසි (20) වැදෑරුම් වේ.

මෙසේ කුසල් (21) එක් විස්ස යැ.

අකුසල් (12) දොළොස යැ.

විපාක (26) සතිස යැ

ක්‍රියා (20) විස්ස යැ යි.

 

සියලු සිත් (මධ්‍යම පුඩු වශයෙන්) (89) එකුන් අනූවෙකි. මොහු (1) පටිසන්‍ධි (2) භවාඞ්ග (3) ආවජ්ජන (4) දස්සන (5) සවණ (6) ඝායන (7) සායන (8) ඵුසන (9) සමපටිච්ඡන (10) සන්තීරණ (11) වොත්‍ථපන (12) ජවන (13) තදාරම්මණ (14) චුති යැයි කෘත්‍ය වශයෙන් තුදුස් ආකාරයෙන් පවතිත්. මින් පිටත් අන්‍ය කෘත්‍යයෙක් නැත්.

 

කෙසේද යත් :- (1) අෂ්ට කාමාවචර කුශලයන් ගේ අනුභාවයෙන් “කෘතොපචිත කර්‍මය වනාහි අවශේෂ ප්‍ර‍ත්‍යය සමාවායයෙහි විපාකය දෙන්නේ තමා ගේ අනුභාවය පවත්වන්නාක්හු මෙන් වේ” යනු සත්‍යයි. දිව්‍ය මනුෂ්‍ය ලෝකයෙහි සත්ත්‍වයෝ උපදිති. (එකල්හි) ඔවුන් ගේ මරණ කාලයෙහි විපාක දීමට අවකාශ ලැබ එළඹ සිටි පෙර කී කර්‍මය ද, ඒ කර්‍මය කරන කාලයෙහි එයට ප්‍ර‍ත්‍යය වශයෙන් එළඹ සිටි දෙය්‍ය ධර්‍මාදි කර්‍ම නිමිත්ත ද, උපදින භවයෙහි යම් කිසි රූපාදියක් එක්තරා එකක් පැවැති ගති නිමිත්ත ද, යන මොවුන් අතුරින් එක්තරා එකක් අරමුණු කොට සහේතුක කාමාවචර විපාක සිත් අට ද, මනුෂ්‍යයන් අතුරෙහි පණ්ඩක - ජාත්‍යන්‍ධ - බධිරාදි බවට පැමිණෙන්නවුනට දුර්‍වල ද්විහේත්කු කර්‍මයට විපාක වූ උපේක්‍ෂා සහගත අහේතුක විපාක මනොවිඤ්ඤාණ ධාතු නම් වූ උපෙක්ඛා සහගත සන්තීරණය දැ යි විපාක සිත් නවයෙක් ප්‍ර‍තිසන්‍ධි කෘත්‍යය කෙරේ.

 

යම් කලෙක රූපාවචර - අරූපාවචර කුශලයන් ගේ අනුභාවයෙන් රූපා‘රූප භවයන්හි ප්‍ර‍තිසන්‍ධියට පැමිණෙත් නම් එකල්හි ඔවුන් ගේ මරණ අවස්ථාවෙහි එළඹ සිටි පඨවිකසිණාදි කර්‍මනිමිත්ත මැ අරමුණු කොට නව රූපාවචර අරූපාවචර විපාක සිත් ප්‍ර‍තිසන්‍ධි වශයෙන් පවතී.

 

යම් කලෙක පෙර කී ප්‍ර‍තිසන්‍ධි දීමේ ශක්තිය ඇති වැ පැවැති අකුශල කර්‍මය අපායෙහි උපදවා ද ඵල ඔවුන් ගේ මරණාවස්ථාවෙහි එළඹ සිටි කර්‍ම, කර්‍මනිමිති, ගතිනිමිතීන් අතුරින් එක්තරා එකක් අරමුණු කොට එකම අකුසලවිපාක අහේතුකමනොවිඤ්ඤාණධාතුව (උපෙක්ඛාසහගත සන්තීරණ චිත්තය) ප්‍ර‍තිසන්ධි වශයෙන් පවතී.

 

මෙසේ එකුන්විසින (19) විපාක විඥානයන් ගේ ප්‍ර‍තිසන්‍ධි කත්‍ය වශයෙන් පැවැත්ම දත යුතු.

 

(2) එම පටිසන්‍ධි විඤ්ඤාණයන් අතුරින් යම් සිතක් ඉපිද නිරුද්ධ වූ කල එය ලුහු බඳිමින් එම විපාක විඤ්ඤාණය මැ ඒ ප්‍ර‍තිසන්‍ධිජනක අරමුණෙහි මැ භවාඞ්ගසිත වශයෙන් පවතී. (එම විඤ්ඤාණය මැ යැයි කීයේ එබඳු වූ ම විඤ්ඤාණය සඳහාය.) නැවත ද එසේ මැ පවතී.

 

භවාඞ්ග සන්තතිය සිඳීමට හේතු වූ ක්‍රියාමය චිත්තයෙන් ස්වප්න දක්නා අවස්ථාව හැර නිද්‍රොපගතයා හටද, නදී ශ්‍රොතයක් සේ අප්‍ර‍මාණ භවාඞ්ග සන්තතිය අවිච්ඡින්න වැ පහළ වන්නේ ය. (එහෙයින් මැ උප්පත්ති භවයා ගේ නොසිඳීමට අඞ්ග භාවයෙන් පවත්නා හෙයින් භවාඞ්ග යයි කියනු ලැබේ.)

 

මෙසේ ඒ එකුන්විසින ප්‍ර‍තිසන්‍ධි විපාක විඥානයන් ගේ භවාඞ්ග වශයෙන් ද පැවැත්ම දත යුතු.

 

මෙසේ භවාඞ්ග සන්තතිය පවත්නා කල චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයෝ (මාතෘකුක්‍ෂිගත කාලයෙහි මෙන් බිහි වූ පසු ද ස්වකෘත්‍ය කිරීමට අසමර්‍ථ වුව ද, අනුක්‍ර‍මයෙන් විශද බවට පැමිණ ස්වකෘත්‍ය කිරීමට සමර්‍ථ වූ කල්හි) රූපාදි ආලම්බන හමුවුව ඒ ආපාථගත වූ රූපාලම්බනය නිසා චක්‍ෂුඃ ප්‍ර‍සාදයා ගේ ගැටීම වේ. එයට අනතුරු වැ ඒ ඝට්ටන බලයෙන් භවාඞ්ග චිත්තයා ගේ චලය වේ. (මෙය චිත්තසන්තානයාගේ පූර්‍ව අවස්ථාවෙන් භින්න අවස්ථාවකට හේතු වූ හෙයින් චලනය වැනි හෙයින් චලනය යි කීහ.)

 

ප්‍ර‍ශ්නයෙකි :- විෂය විෂයී භාවයෙන් රූපාලම්බනයා ගේ චක්‍ෂුඃප්‍ර‍සාදය හා ගැටීම වේවා! එසේ කල අන්‍ය නිශ්‍රිත භවාඞ්ගයා ගේ චලනය කෙසේ වේද?

 

පිළිතුර :- බෙර ඇසක තුබූ සකුරු කැබෙල්ලක වසා සිටි මැස්සා බෙර ඇසට නිය පිටින් ගැසූ කල (එකාබද්ධහෙයින්) එය දෙදරීමෙන් ඉගිළ යන්නා සේය. චක්‍ෂුඃප්‍ර‍සාදය හා භවාඞ්ග චිත්තය නිශ්‍රිත හෘදය වස්තුව (සියුම් ධමනීන්ගෙන්) ඒකාබද්ධ හෙයිනි.

 

(3) නැවත එම භවාඞ්ග චලනයට ප්‍ර‍ත්‍යය වූ ආපාථගත රූපාලම්බනය අරමුණු කොට භවාඞ්ග සන්තතිය සිඳින්නාක් මෙන් ආවර්‍ජනකෘත්‍යය සිද්ධ කරන්නා වූ අහේතුක ක්‍රියාමනෝධාතුව (පඤ්චද්වාරාවජ්ජන චිත්තය) උපදී. සොතද්වාරාදියෙහි ද මෙම නයයි. මනොද්වාරයෙහි වනාහි ෂඩ්විධාලම්බනය මැ ආපාථගත කල්හි භවාඞ්ග චලනයට අනතුරුවැ භවාඞ්ගය සිඳින්නාක් මෙන් ආවර්‍ජන කෘත්‍යය සිද්ධකරන්නා වූ අහේතුක ක්‍රියා මනෝවිඤ්ඤාණ ධාතුව (මනොද්‍වාරාවජ්ජන චිත්තය) උපදී.

 

(පඤ්චද්වාරාවර්‍ජනයට අනතුරුවැ දර්‍ශනාදි කෘත්‍යය නො කියා මනොද්වාරාවජ්ජනය කියන ලද්දේ චතුර්‍දශ කෘත්‍ය විෂයයෙහිලා දෙකම ආවජ්ජන නමින් ගන්නා ලද හෙයිනි.)

 

පඤ්චද්වාරාවර්‍ජනයට අනතුරුවැ චක්‍ෂුර්ද්වාරයෙහි දර්‍ශන කෘත්‍යය සිද්ධ කරන චක්‍ෂුඃප්‍ර‍සාද වස්තුක වූ චක්ඛුවිඤ්ඤාණ චිත්තය, ශ්‍රොත්‍ර‍ද්වාරයෙහි ශ්‍ර‍වණ කෘත්‍යාදිය සිද්ධ කරන ශ්‍රොත්‍ර‍-ඝ්‍රාණ-ජිහ්වා-කාය විඥානයෝ පවතිත්. ඉෂ්ට-ඉෂ්ටමධ්‍යස්ථ විෂයයන්හි ඔහු කුඳාසල විපාකයහයි මෙසේ දශවිධ විපාක විඤ්ඤාණයන් ගේ (4) දස්සන (5) සවන (6) ඝායන (7) සායන (8) ඵුසන වශයෙන් පැවැත්ම දත යුතු.

 

(4) “චක්ඛුවිඤ්ඤාණධාතුයා උප්පජ්ජිත්‍වා නිරුද්ධ සමනන්තරා උප්පජ්ජති චිත්තං, මනො, මානසං, පෙ - තජ්ජාමනො විඤ්ඤාණ ධාතු[482]

 

‘චක්ඛුවිඤ්ඤාණාදියට අනතුරුවැ ඔවුන් ගේ මැ අරමුණ පිළිගන්නා වූ (කුසල විපාක චක්ඛුවිඤ්ඤාණාදියට අනතුරුවැ කුසල විපාක ද, අකුසල විපාකයනට අනතුරුවැ අකුසල විපාක ද) මනෝධාතුව (සම්පටිච්ජන චිත්තය) උපදී.’ මෙසේ මේ විපාක සිත් දෙදෙනා ගේ සම්පටිච්ඡන වශයෙන් පැවැත්ම දත යුතු ය.

 

(10) “මනෝධාතුයාපි උප්පජ්ජිත්‍වා නිරුද්ධ මනන්තරා උප්පජ්ජති චිත්තං, මනො, මානසං, තජ්ජමනො විඤ්ඤාණ ධාතු[483] යි” මනෝධාතුවෙන් පිළිගත් ආලම්බනය මැ තීරණය කරමින් (අකුසල විපාක මනෝධාතුවට අනතුරුවැ අකුසල විපාක ද, කුසල විපාකයට අනතුරුවැ ඉෂ්ටාලම්බනයෙහි සොමනස්ස සහගතවද, ඉෂ්ටමධ්‍යස්ථාලම්බනයෙහි උපෙක්ඛා සහගතව ද) ත්‍රිවිධ විපාක මනෝවිඤ්ඤාණ ධාතුන් ගේ සන්තීරණ වශයෙන් පැවැත්ම දතයුතු.

 

(11) “සන්තීරණානන්තරං පන තමෙව විසයං වවත්‍ථාපයමානා උප්පජ්ජති ක්‍රියාහේතුක මනොවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගතා”[484] යි මෙසේ එකම ක්‍රියා මනෝවිඤ්ඤාණයා ගේ වොත්‍ථපන වශයෙන් පැවැත්ම දතයුතු.

 

(12) වොත්‍ථපනයට අනතුරුවැ වනාහි ජවන පරියෝසාන කොට ඇති චිත්තක්‍ෂණ තුදුසක් (14) ආයු ඇති, මහන්තාලම්බන වීනම් එකල එම විෂයයෙහි අටවැදෑරුම් කාමාවචර කුශලයන් හෝ, දොළොස් අකුශලයන් හෝ නවවැදෑරුම් අවශේෂ කාමාවචර ක්‍රියාවන් හෝ, අතුරෙන් එකක ගේ වශයෙන් ජවන් සයෙක් හෝ සතෙක් හෝ උපදී. එකම සිත සවරක් හෝ, සත්වරක් දිවේ. මේ පඤ්චද්වාරයෙහි ක්‍ර‍මය යි. (මූර්ඡාදි කාලවල පස්වරක් හෝ ඉපදිය හැකි ය.)

 

මනොද්වාරයෙහි වනාහි මනොද්වවාරාවජ්ජනයට අනතුරුවැ පෙරකී එකුන්විසි (19) ජවනයන් අතුරින් කිසි චිත්තයෙක්ම ජවන වේ.

 

අර්පණාවීථින්හි ඒ ඒ ධ්‍යානයන්ට හෝ, මාර්‍ගාදියට අනුරූප සේ ලබන ලද ප්‍ර‍ත්‍යය අනුවැ ත්‍රිහේතුක කාමාවචර කුසල හෝ, ක්‍රියා චිත්තයක් මනොද්වාරාවජ්ජනයට අනතුරුවැ පරිකර්‍ම-උපචාර-අනුලොම-ගොත්‍ර‍භූ නාමයෙන් උපන් අනුතරුවැ පෘථග්ජන - ශෛක්‍ෂයනට ප්‍ර‍ථමධ්‍යානාදි රූපාවචර කුශල ධ්‍යාන පස හෝ, අරූපාවචර කුශල ධ්‍යාන සතර හෝ, ලෝකෝත්තර මාර්‍ග සතර හෝ ජවන වශයෙන් උපදී.

 

අශෛක්‍ෂයනට කාමාවචර ත්‍රිහේතුක ක්‍රියා සිත් සතරින් එකක් පරිකර්‍මාදි වශයෙන් උපන් කල, රූපාවචර-අරූපාවචර ක්‍රියා සිත් ජවන වශයෙන් උපදී. මේ ආදිකාර්මිකයාට යැ. සෙස්සන්ට පරිකර්‍ම නැති. එසේම ද්විතීය මාර්‍ගාදියෙහි දී “ගෝත්‍රභූ” වෙනුවට උපදනේ “වෝදාන” යයි කියනු ලැබේ. ඵල සමාපත්ති වීර්‍ථයෙහි ‘ගෝත්‍ර‍භූ’ හෝ වෝදානයට හෝ අනතුරුවැ ඵල සිත් ජවන් වශයෙන් උපදී. (මෙහි තවද විස්තර බෙහෙවි.) මෙසේ කුසල-අකුසල-ක්‍රියා-විපාක (ඵල) චිත්තයන් ගේ වශයෙන් පස්පනස් (55) ජවනයෝ දතයුතු වෙත්.

 

(13) ජවනාවසානයෙහි පඤ්චද්වාරයෙහි අතිමහන්තාලම්බන හෝ (ෂොඩශචිත්තක්‍ෂණායුෂ්ක හෙයිනි) මනොද්වාරයෙහි විභූතාලම්බන හෝ වේ ද, එකල කාමාවදර සත්ත්‍වයනට, කාමාවචර ජවනාවසානයෙහි, ඉෂ්ට, ඉෂ්ටමධ්‍යස්ථ, අනිෂ්ටාලම්බන වශයෙන් ද, පූර්‍වකර්‍මාදීන් ගේ වශයෙන් ද, ජවන චිත්ත වශයෙන් ද, පටිසන්‍ධි චිත්ත වශයෙන් ද, යම් යම් ප්‍ර‍ත්‍යයෙක් ලැබේ නම් ඒ ඒ ප්‍ර‍ත්‍යයන් ගේ වශයෙන් අටවැදෑරුම් කාමාවචර කුශල විපාක චිත්තයන් හා ත්‍රිවිධ අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුන් ද යන එකොළොස් චිත්තයන් අතුරින් එක්තරා එකක්, උඩුගංබලා යන නැවක් ලුහුබැඳ මඳක් දුර යන ජලය මෙන් භවාඞ්ග චිත්තයට අයත් අරමුණ හැර අන්‍ය (ජවන ගත්) ආලම්බනයෙහි දිවූ ජවනය ලුහුබැඳ දෙවරක් විපාක විඤ්ඤාණය උපදී. ඒ ජවනය ගත් ආලම්බනය මැ ආලම්බන කොට පවත්නා හෙයින් ‘තදාලම්බන’ යැයි කියනු ලැබේ.

 

මින් රූපා‘රූප භවයන්හි ද අතිමහන්ත හා විභූතාලම්බන ඇත ද, (අචඤ්චලහෙයින්) තදාලම්බන නූපදනා බව් කී නියායි.

 

කාම තෘෂ්ණා හේතු කර්‍මයෙන් නිපන් ඒ තදාලම්බනය මහද්ගත, ලෝකෝත්තර ජවනයන් ලුහු නො බඳී.

 

නිදර්‍ශනයක් :- ගෙයින් පිටත යනු කැමැති ළදරුවා පියා හෝ, පියා සමානයෙක් හෝ පසුපස්සේ යේ. එයට වෙනසු වූවකු ලුහු නොබඳින්නාක් මෙනි. (තමහට ජනක කර්‍මය හෝ, තත්සදාශ ක්‍රියාව හෝ ලුහු බඳනේ යි.)

 

කාමාවචර ජවන් එක්තිසෙකි. (31) තදාලම්බන එකොළොසෙකි. (11) සියලු ජවන් කෙරෙන් ඒ සියලු තදාලම්බන නූපදී.

 

ඒ නියමය මෙසේයි :-

 

සෝමනස්ස සහගත ක්‍රියා ජවනයන් කෙරෙන් සෝමනස්ස සහගත තදාලම්බනයෝ මැ වෙති. උපෙක්ඛා සහගත ක්‍රියා ජවනයන් කෙරෙන් හා, දෝසමූලික අකුසල් කෙරෙන් උපෙක්ඛා සහගත තදාලම්බනයෝ මැ වෙති.

 

කාමාවචර කුසල් කෙරෙන්ද, ලෝභමූල, මෝහමූල, අකුසල් කෙරෙන් ද, සෝමනස්ස සහගත තදාලම්බන ද, උපෙක්ඛා සහගත තදාලම්බන ද, ආලම්බනානුරූප වැ වෙති. එහිදු අකුසල ජවනයට අනතුරු වැ අහේතුක තදාරම්මණ ද, (අහේතුක මනෝවිඤ්ඤාණධාතු තුන ද) ද්විහේතුක ජවනයට අනතුරු වැ ද්විහේතුක තදාරම්මණ , ත්‍රිහේතුක ජවනයට අනතුරු වැ ත්‍රිහේතුක තදාරම්මණ ද, බොහෝ සෙයින් වෙති.

 

ඉෂ්ටාලම්බනයෙහි සොමනස්ස සහගත වූ මැ තදාලම්බනයෝ වෙති.

 

ඉෂ්ටමධ්‍යස්ථාලම්බනයෙහි කුසල විපාක උපෙක්ඛා සහගත තදාලම්බනයෝ වෙති.

 

අනිෂ්ටාලම්බනයෙහි අකුශල විපාක උපෙක්ඛා සහගත තදාලම්බනයෝ වෙති.

 

ප්‍ර‍තිසන්‍ධිජනක කර්‍මය පමණක් නොව ප්‍ර‍වෘත්ති විපාක ජනක කර්‍මය ද තදාරම්මණ උපදවන්නේ ය. ඒ ප්‍ර‍වෘත්ති විපාක ජනක කර්‍මය ප්‍ර‍තිසන්‍ධි විපාක ජනක කර්‍මයෙන් උපදවන තදාරම්මණයට වෙනස් වූ ද තදාරම්මණ උපදවන්නේ ය.

 

තදාරම්මණාවසානයෙන් නැවත ද භවාඞ්ග වේ. භවාඞ්ගය සිඳුණු කල ආවර්‍ජනාදිය වේ. එයට අනතුරු වැ දර්‍ශනාදිය චිත්ත නියාමය වශයෙන් නැවත නැවත පවතී.

 

(14) එක් භවයෙක් හි හැමට පසුවැ උපදනා භවාඞ්ග චිත්තය මැ ඒ භවයෙන් චුතිය වන හෙයින් චුතිය යි කියනු ලැබේ. භේද එකුන්විසි (19) වැදෑරුම් වේ.

 

මෙසේ එකුන්විසි වැදෑරුම් විපාක චිත්තයන්ගේ ම චුති වශයෙන් පැවැත්ම දතයුතු. චුතියෙන් මතු නැවත ප්‍ර‍තිසන්ධිය ද ප්‍ර‍තිසන්‍ධියෙන් මතු නැවත භවාඞ්ගය දැයි මෙසේ ත්‍රිවිධ භවය, පඤ්චගතිය, සප්තවිඥානස්ථිතිය, නවසත්ත්‍වාවාසය යන මෙතෙක් තන්හි සැරිසරන්නා වූ සත්ත්‍වයන් ගේ චිත්ත සන්තතිය නො සිඳ පවත්නේම ය. මේ ලෝකයෙහි යමෙක් අර්‍හත්‍වයට පැමිණියේ නම් උන්වහන්සේගේ චුති චිත්තය නිරුද්ධ වූ කල්හි නැවත නූපදනා සේ නිරුද්ධ වන්නේම ය.

 

මේ විඥානස්කන්ධයෙහි විස්තර කථාව යි.

 


වේදනා ස්කන්ධය (3)

 

“යංකිඤ්චි වෙදයිත ලක්ඛණං සබ්බන්තං එකතො කත්‍වා වෙදනාක්ඛන්‍ධො වෙදිතබ්බො”යි ‘යම්කිසි විඳීම් ලක්‍ෂණයෙක් වේ නම් ඒ සියල්ල එක්කොට සැලකීමෙන් වේදනාස්කන්ධය දතයුතුය’යි කී හෙයින් දැන් එය විස්තර කරනු ලැබේ. “වෙදියති වෙදියතීති ඛො ආවුසො තස්මා වෙදනාති වුච්චති”[485] යි කී හෙයින් මෙහි වේදයිත ලක්‍ෂණය නම් වේදනාවම ය. (වේද නම් වූ අනුභවාකාරයෙන් පැවැත්තේ වේදයිත ය.)

 

ඒ ආලම්බන රස අනුභව කිරීම් ලක්‍ෂණයෙන් ස්වභාවයෙන් ඒකවිධ වුව ද,

(1) කුසල

(2) අකුසල

(3) අඛ්‍යාකතය යි ජාති වශයෙන් ත්‍රිවිධ වේ. එහි කාමාවචර කුසලය, සොමනස්ස - උපෙක්ඛා - ඤාණ - සඞ්ඛාර භේදයෙන් අටවැදෑරුම් වේ. යනාදි පෙර කී සේ (1) කුසල විඤ්ඤාණය හා සම්ප්‍ර‍යුක්ත වූයේ කුසල වේදනා ය. (2) අකුසල විඤ්ඤාණය හා සම්ප්‍ර‍යුක්ත වූයේ අකුසල වේදනා ය. (3) විපාක - ක්‍රියාවන් හා සම්ප්‍ර‍යුක්ත වූයේ අඛ්‍යාකත වේදනා ය යි දතයුතු. වේදනාව සර්‍ව චිත්ත සාධාරණ බැවින් එකුන් අනූ (89) වැදෑරුම් වේ. සුඛ-දුක්ඛ-සොමනස්ස-දොමනස්ස-උපෙක්ඛා භේදයෙන් ස්වභාව වශයෙන් පස්වැදෑරුම් වේ.

 

එහි කුසල විපාක කාය විඤ්ඤාණ සම්ප්‍ර‍යුක්ත වූයේ සුඛ වේදනා ය. අකුසල විපාක කාය විඤ්ඤාණ සම්ප්‍ර‍යුක්ත වූයේ දුක්ඛ වේදනා ය. කාමාවචරයෙහි කුසල් සතර ය, සහේතුක විපාක සතර ය, එකම අහේතුක විපාක සන්තීරණය, සහේතුක ක්‍රියා සතර ය, එකම අහේතුක ක්‍රියාව ය, අකුසල සතර ය යන මෙතෙක් සිත් හා ද, රූපාවචරයෙහි පඤ්චමධ්‍යාන චිත්තය හැර සෙසු දොළොස් කුසල-විපාක ක්‍රියා හාද, (ධ්‍යානාඞ්ග සම්ප්‍ර‍යුක්ත ලෝකෝත්තර චිත්තය ද මාර්‍ග-ඵල වශයෙන් අට වැදෑරුම් වූ ධ්‍යාන භේදයෙන් ගෙන සම සතලිසක් (40) වේ. (අධ්‍යානික ලොකොත්තර නැති හෙයිනි) එහි පඤ්චමධ්‍යානික අට හැර සෙසු) දෙතිස් (කුසල-විපාක) මාර්‍ග-ඵල චිත්තයන් හා දැ යි මෙසේ සොමනස්ස දෙසැට (62) විඤ්ඤාණයන් හා සම්ප්‍ර‍යුක්ත වේ.

 

දොමනස්ස වේදනාව දොමනස්ස සහගත අකුසල විඤ්ඤාණ දෙක හා සම්ප්‍ර‍යුක්ත වේ.

 

උපේක්‍ෂා වේදනාව, සෙසු කාමාවචර කුසල සතර ය, සහේතුක විපාක සතර ය, අහේතුක විපාක දොළොස ය, සහේතුක ක්‍රියා සතර ය, අහේතුක ක්‍රියා දෙක ය, අකුසල සය ය, රූපාවචර පඤ්මධ්‍යාන තුන ය. (අරූපාවචර ද පඤ්මධ්‍යානයෙහි ඇතුළත් හෙයින්) අරූපාවචර දොළස ය. ලෝකෝත්තර අටයැයි පස්පනස් (55) විඤ්ඤාණයන් හා සම්ප්‍ර‍යුක්ත වේ.

 

ඔවුනතුරින් සුඛ වේදනාව ඉෂ්ට ඵොට්ඨබ්බය අනුභව කිරීම් ලක්‍ෂණය යැ. සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් ගේ උපබ්‍රෑහණ (වැඩීම) රසය යැ. කය පිළිබඳ වූ ආස්වාදය වැටහෙන ආකාරය යැ. කාය ඉන්‍ද්‍රියය ආසන්න කාරණය යි. දුක්ඛ වේදනා අනිෂ්ඨ පොට්ඨබ්බය අනුභව කිරීම් ලක්ෂණය යැ. සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් මැළවීම් කෘත්‍යය යැ. කය පිළිබඳ පෙළීම වැටහෙන ආකාරය යැ. කාය ඉන්‍ද්‍රියය ආසන්න කාරණය යි.

 

සොමනස්ස වේදනාව ඉෂ්ටානුභවන ලක්‍ෂණය යැ. ස්වභාව වූ, හෝ පරිකල්ප වූ හෝ ඉෂ්ටාකාරයෙන් අරමුණු රස විඳීම් කෘත්‍යය යැ. චෛතසික ආස්වාදය වැටහෙන ආකාරය යැ. පස්සද්ධිය ආසන්න කාරණය යි.

 

දොමනස්ස අනිෂ්ටානුභවන ලක්‍ෂණය යැ. ලැබුණු පරිදි අනිෂ්ටාකාරයෙන් අරමුණු රස විඳීම් කෘත්‍යය යැ. චෛතසික පීඩනය වැටහෙන ආකාරය යැ. හෘදය වස්තුව ආසන්න කාරණය යි.

 

උපෙක්ඛා වේදනාව මධ්‍යස්ථානුභවන ලක්‍ෂණය යැ. සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් නො පිනවන - නො මලවන (ස්වභාව) කෘත්‍යය යැ. ශාන්තභාවය වැටහෙන ආකාරය යැ. නිප්‍රීතික චිත්තය ආසන්න කාරණය යි.

 

මේ වේදනා ස්කන්ධයේ විස්තර කථාව යි.

 

සංඥා ස්කන්ධය (4)

 

“යංකිඤ්චි සඤ්ජන නලක්ඛණං සබ්බංතං එකතො කත්‍වා සඤ්ඤාක්කන්‍ධො වෙදිතබ්බො”යි ‘යම්කිසි හැඳිනීම් ලක්‍ෂණයෙක් වේ නම් ඒ සියල්ල පිඬු කොට සංඥා ස්කන්ධය දත යුතුයයි, කී හෙයින් දැන් වේදනා ස්කන්ධයට අනතුරුවැ සංඥා ස්කන්ධය කියනු ලැබේ.

 

“සඤ්ජානාති සඤ්ජානාති ඛො ආවුසො තස්මා සඤ්ඤාති වුච්චති”[486] යි ‘නීල පීතාදි අරමුණ සලකුණු කොට නැවත නැවත හැඳිනීමෙක් වේ නම් එය සංඥා නමින් කියනු ලැබේය’යි එහෙයින් වදාළහ. ඒ සංඥාව ද හැඳිනීම් ලක්‍ෂණ (ස්වභාව) යෙන් ඒකවිධ වුව ද, ජාති වශයෙන් කුශලය, අකුශලය, අව්‍යාකෘත යයි ත්‍රිවිධ වේ.

 

ඔවුනතුරින් කුශල විඥාන සම්ප්‍ර‍යුක්ත වූයේ කුශල සංඥාය, අකුශල විඥාන සම්ප්‍ර‍යුක්ත වූයේ අකුසල සංඥාය, අව්‍යාකෘත විඥාන සම්ප්‍ර‍යුක්ත වූයේ අව්‍යාකෘථ සංඥායි. ‘සංඥායෙන් වෙන් වූ විඥානයෙක් නම් නැත්තේය’යි කී හෙයින් සංඥාව සියලු චිත්තයෙහි මැ යෙදේ. එහෙයින් විඤ්ඤාන භේද යම් පමණ නම් සංඥා භේදය එපමණ මැ වේ.

 

විශේෂ :- වේනාව සර්‍වචිත්ත සාධාරණ වුව ද, ‘මෙසේ නොකියන ලද්දේ’ එය භේද වශයෙන් තුනක් හෝ පසක් වන හෙයින් ඒ එක එක භේදයෙන් යුක්ත වූ විඥානය අන්‍ය භේදයන් හා නොසැසඳෙන හෙයිනි.

 

මේ සංඥාව, විඥානය හා සමාන ප්‍රභේද ඇත්තේ වුව ද ලක්‍ෂණාදි වශයෙන් සියලු සංඥාම අරමුණු ලකුණු කිරීම් ලක්‍ෂණයැ ය. පළමු කළ සලකුණෙන් පසුව හැඳින ගැනීමට නිමිත්ත වීම් කෘත්‍යය යැ. (දැව ආදිය සැසිය යුතු තැන් පළමු කළ ලකුණින් පසුව හැඳිනගන්නාක් මෙනි.) පළමු ගන්නාලද නිමිතිහුගේ වශයෙන් දැඩිකොට ගැනීම වැටහෙන ආකාරය යැ. (ඇතා ගේ ඒ ඒ අවයව ගත් අන්‍ධයන් ඇතා ඒ ඒ අවයව බඳුය යි හැඳින ගන්නා සේ) එළඹ සිටි සේ අරමුණු ගැනීම ආසන්න කාරණය යි. තෘණ පුරුෂයන් (කුඹුරු රැකීමට කළ පඹයන්) දැක ‘මුව ආදීහු’ කුඹුරු රක්නා පුරුෂයන් මෙනැ යි ගන්නා සංඥාව මෙනි.

 

මේ සංඥා ස්කන්ධයේ විස්තර කථාව යි.

 

සංස්කාරස්කන්‍ධය (5)

 

“යංකිඤ්චි අභිසඞ්ඛරණලක්ඛණං සබ්බන්තං එකතො කත්‍වා සඞ්ඛාරක්ඛන්‍ධො” යි සංඥාස්කන්ධයට අනතුරු වැ ‘කුශලා කුශල කර්‍මයන් රැස් කිරීම ලක්‍ෂණ කොට ඇති ධර්‍ම සමූහය එක් කොට සංස්කාර ස්කන්ධ වේය’යි කී ඒ වචනයෙහි, අභිසංස්කරණ ලක්‍ෂණය නම් රැස්කිරීම් ලක්‍ෂණය යි. ඒ නම් සංස්කාර ධර්‍ම මැයි. එයින් වදාළහ.

 

සසඞ්ඛතමහිසඞ්ඛරොන්තී ති ඛො භික්ඛවෙ තස්මා සඞ්ඛාරාති වුච්චන්ති”[487] යි ‘මහණෙනි! තමන් ගේ හේතු ධර්‍මයන් සිද්ධ කටයුතු ඵල ධර්‍මය සකස් කරන හෙයින් සංස්කාරයෝය’යි කියනු ලැබෙත්. ඔහු රැස්කිරීම් ලක්‍ෂණ ඇත්තාහ. එක්රැස් කොට ගැනීම් කෘත්‍යය ඇත්තාහ. ව්‍යාපාරවත් බව වැටහෙන ආකාර ඇත්තාහ. අවශෙෂ නාම ස්කන්‍ධත්‍ර‍යය ආසන්න කාරණ ඇත්තාහ. මෙසේ ලක්‍ෂණාදීන් ඒකවිධ වුවද ජාති වශයෙන් කුශල, අකුශල, අව්‍යාකෘත භේදයෙන් ත්‍රිවිධ යැ.

 

ඔවුනතුරින් කුශල විඥාන සම්ප්‍ර‍යුක්ත වූයේ කුශල යැ. අකුශල සම්ප්‍ර‍යුක්ත වූයේ අකුශල යැ. අව්‍යාකෘත සම්ප්‍ර‍යුක්ත වූයේ අව්‍යාකෘත යි. එහි ද කාමාවචර ප්‍ර‍ථම කුශල විඥානයෙහි නියත වශයෙන් ස්වරූපයෙන් පෙළෙහි ආ සත් විස්සය, ස්වකීය නාමයෙන් නාවාවූ සතරය. අනියත පසයැයි චෛතසික සතිසෙක් වේ. එහි ඵස්සය, චේතනාය, විතක්කය, විචාරය, පීතිය, විරියය, ජීවිතය, සමාධිය, සද්ධාය, සතිය, හිරිය, ඔත්තප්පය, අලෝභය, අදෝසය, අමෝහය, කායපස්සද්ධිය, චිත්තපස්සද්ධිය, කායලහුතාය, චිත්තලහුතාය, කායමුදුතාය, චිත්තමුදුතාය, කායකම්මඤ්ඤතාය, චිත්තකම්මඤ්ඤතාය, කායපාගුඤ්ඤතාය, චිත්තපාගුඤ්ඤතාය, කායුජ්ජුකතාය, චිත්තුජ්ජුකතාය යන සත්විසි දෙන (27) ස්වරූපයෙන් ආහ. ඡන්‍දය, අධිමෝක්‍ෂය, මනසිකාරය, තත්‍රමජඣත්තතාය යන සතර දෙන (4) යේවාපනකයෝයි. කරුණා, මුදිතා, කාය දුශ්චරිත විරතිය, වචීදුශ්චරිත විරතිය, මිථ්‍යාආජීව විරතිය යි මේ පස්දෙන (5) අනියතයෝ යි.

 

1. ඵස්සය (1) අරමුණට වැදගන්නේ ඵස්සයයි. වැදගැනීම් ක්‍රියාව කර්‍තෘත්‍වයෙන් තොරවැ සිදු නොවන හෙයින් ඒ ධර්‍මය කර්‍තෘ වන බව හැඟවීමට මෙසේ කර්‍තෘ සාධනයෙන් දැක්වූහ.

 

(ii) ‘මේ කරණකොට ගෙන සම්ප්‍ර‍යුක්ත ධර්‍මයෝ ස්පර්‍ශ කෙරෙත්නුයි හෝ ඵස්සය යැ. ඵස්සය හා සම්ප්‍ර‍යුක්ත සෙසු චිත්ත චෛතසික ධර්‍මයෝ, වැදගැනීම් ලක්‍ෂණ ස්පර්‍ශය කරණ කොට අරමුණු ස්පර්‍ශ කරන්නාහු මෙන් වෙත් යයි කරණ සාධන වශයෙන් වේ.

 

(iii) අරමුණු වැදගැනීම් මාත්‍ර‍ය හෝ ඵස්සය යි.

 

මෙසේ කර්‍තෘ, කරණ, සාධන ද්වයය ආරෝපනය කිරීමෙන් පර්‍ය්‍යාය වශයෙන් හා භාව සාධනය නිෂ්පර්‍ය්‍යාය වශයෙන් වේ. (ධර්‍මස්වභාවය නිසිසේ හැඟෙනුයේ භාවසාධනයෙනි) සෙසු චෛතසික පිළිබඳවද මේ ක්‍ර‍මය මෙසේ මැයි. ඒ ඵස්සය අරමුණට වැදගැනීම ලක්‍ෂණය යැ. ආලම්බනය හා විඥානයා ගේ ගැටීම කෘත්‍යය යැ. වස්තු-ආලම්බන-විඥානයන් ගේ එක්වීම (සන්නිපාතය) වැටහෙන ආකාරය යැ. හමු වූ අරමුණ මැ ආසන්න කාරණය යි.

 

විශේෂ :- අරූප ධර්‍මයක් වූද මේ ඵස්සය ආලම්බනයෙහි වැදගන්නාක් මෙන් පවතී.

 

කෙසේද යත්:- දුර සිට ඇඹුල් කන්නකු දුටුවහු කටට කෙළ උනන්නාක් මෙන්, බැහැරවූද රූපාලම්බනය ආපාථගවීම් මාත්‍රයෙන් චක්‍ෂුඃප්‍ර‍සාදයෙහි ගැටෙන්නාක් මෙන්වේ. දඬු දෙකක් එකට ගැටීමක් මෙන් ඒක දෙශයෙනුදු නො ගැටෙන්නා වූ (රූපය චක්ඛුප්පසාදය මෙන් ද, ශබ්දය සොතප්පසාදය මෙන් ද,) චිත්තය, ආලම්බනය යන දෙදෙනා ගේ අන්‍යොන්‍ය ආපාථගමනය වීම දත යුතු. මේ කෘත්‍යාර්‍ථරසය. වස්තු ආලම්බනයන් ගේ සන්නිපාතයෙන් ඝට්ටනය වේයයි සම්ප්‍රාප්ති අර්‍ථයෙන් රසය කීයේ වේ.

 

(ආලම්බනයෙහි චිත්තයා ගේ ගැටීම චිත්තයා ගේ විශේෂ වූ එක්තරා ස්වභාවයෙකි.) වස්තු - ආලම්බන - විඥාන තුනෙහි එක්වීම ඵස්සයා ගේ හේතු වශයෙන් හඟවා වදාළ හෙයින් (එක්වීම) සන්නිපාතය ඵලකොට ඇත්තේ ය. මේ ඵලාර්ථ පච්චුපට්ඨානය යි.

 

ස්පර්‍ශයට සුදුසු ආවර්‍ජන චිත්තයෙනුදු, චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියෙනුදු සකස් කරන ලද අරමුණෙහි නිරුපද්‍රිතව උපදනා හෙයින් හමු වූ ආලම්බනය ආසන්න කාරණය යි කියනු ලැබේ.

 

වේදනාවට ආධාර වීමෙන් සමගැසූ ගවදෙනකට බඳු උපමා ඇත්තේ යි.

 

2. වේදනාව, තමා හා සම්ප්‍ර‍යුක්ත සෙසු ඵස්සාදි ධර්‍මයන් ඒ ඒ කෘත්‍යයෙහි මෙහෙයවන ධර්‍ම ස්වභාවය චේතනා යි. අරමුණෙහි මනාව පිහිටුවන්නේ ය’ යන අර්‍ථයි. එය උත්සාහවත් බව ලක්‍ෂණය යැ. සම්ප්‍ර‍යුක්ත ධර්‍ම තම තමා අයත් කටයුත්තෙහි යෙදීම් කෘත්‍යය යැ. සෙසු සම්ප්‍ර‍යුක්ත ධර්‍ම ඒ ඒ කෘත්‍යයෙහි විධාන කිරීම මැ වැටහෙන ආකාරය යැ. (තමා අයත් කෘත්‍ය කිරමින් අන්‍යයන් ද ඒ ඒ කෘත්‍යයන්හි යොදවන්නා වූ දෙටු ශිෂ්‍යයා හා දෙටු වඩු ආදීන් මෙනි.)

 

චේතනාව පවත්නා කල්හි මැ සෙසු සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් තම තමා අයත් කෘත්‍යයෙහි පවත්නා බැවිනි. මේ චේතනාව ඉක්මන් කර්‍මයන් සිහිකිරීම් ආදියෙහි දී සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට උත්සාහ උපදවන කල්හි ප්‍ර‍කට වේ.

 

විශේෂ :- මෙහි උත්සාහය ආයූහන (රැස්කිරීම්) වශයෙන් මුත් වීර්‍ය්‍ය වශයෙන් නො වේ.

 

3. විතක්ක 4. විචාර 5. පීතින් පිළිබඳ ලක්‍ෂණාදිය පඨවි-කසිණ නිර්‍දෙශයෙහි ප්‍ර‍ථමධ්‍යාන වර්‍ණනායෙහි කීයේ මැයි.[488]

 

6. වීර්‍ය්‍යය, වීරයා ගේ ස්වභාවය වීර්‍ය්‍යය යි. එහි ලක්‍ෂණය උත්සාහවත් කිරීම ය. රසය සහජාතයන්ට උපස්තම්භක වීම ය. (රුකුල් දීම ය) පසුබට නොවීම වැටහෙන ආකාරය ය. “සංවේගයට පැමිණියේ නුවණින් උත්සාහවත් වේ” යයි කී හෙයින්, ‘සංවේගඥානය ආසන්න කාරණය යි. නොහොත් වීර්‍ය්‍යාලම්භ වස්තු ම ආසන්න කාරණය යි. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය සියලු සම්පත්තීන් ගේ මූල කාරණයයි දතයුතුයි.

7. ජීවිතින්‍ද්‍රිය, සම්ප්‍ර‍යුක්ත ධර්‍මයෝ එයින් ජීවත් වෙත් නුයි හෝ, තෙමේ ජීවත්වේ නුයි හෝ, ජීවන මාත්‍ර‍ය නුයි හෝ ජීවිත නමි. (එහි ලක්‍ෂණාදිය රූපස්ක්නධ විභාගයෙහි රූප ජීවිතින්ද්‍රියෙහි[489] කී නයින් ම දතුයුතු.)

 

විශේෂ :- ඒ රූප ජීවිතින්‍ද්‍රිය ය කර්‍මජ රූපය්න ජීවත්වීමට කාරණ වේ. නාම ජීවිතින්‍ද්‍රිය ය අරූප ධර්‍මයන් ගේ ජීවත්වීමට කාරණ වේ. මේ ය මේ දෙකෙහි වෙනස.

 

8. සමාධි, ආරම්මණයෙහි සිත සම වැ පිහිටුවා නුයි හෝ, මනාව පිහිටුවා නුයි හෝ, ‘චිත්තයා ගේ මේ මනාව පිහිටුවීම් මාත්‍ර‍ය නුයි’ හෝ සමාධි නම් වේ. එහි තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් ගේ නො විසිරීම හෝ, නන් අරමුණෙහි විසිර නො යාම ලක්‍ෂණය ය. කෘත්‍යය තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් කැටි කිරීම යැ. (නහනසුණු දියෙන් කැටි කරන්නාක් මෙනි.) ප්‍ර‍තිපක්‍ෂ ධර්‍ම සංසිඳවීම වැටහෙන ආකාරය ය. සුඛ වේදනාව ආසන්න කාරණය යි. ‘සුළං නොහමන තැනෙක පහන් සිළුවක පැවැත්ම මෙන් චිත්තයා ගේ පැවැත්ම’ යයි දතයුතු.

 

9. සද්ධා, මේ නිසා අදහත් නුයි, හෝ ‘තෙමේ අදහානුයි’ හෝ ‘ඇදහීම් මාත්‍ර‍ය’ හෝ ශ්‍ර‍ද්ධා යැ. එය ඇදහීම් ලක්‍ෂණය යැ. අරමුණ කරා වැදගැනීම් ලක්‍ෂණය හෝ යි. (උදකප්‍ර‍සාදක මානික්‍යය මෙන්) පැහැදවීම හෝ, (සැඬ පහරක් එතර කරන්නකු සේ) පෙරදැරිවැ පැනීම හෝ කෘත්‍යය යැ. නොකැළඹීම වැටහෙන ආකාරය යැ. පැහැදිය යුතු වස්තුව පිළිබඳ නිශ්චය හෝ, ඇදහිය යුතු වස්තුව හෝ ආසන්න කාරණය යි. සද්ධර්‍ම ශ්‍ර‍වණාදි සරත සෝතාපත්ති අඞ්ග පදට්ඨාන හෝ වේ. හස්ත-වස්තු බීජයන් මෙනි.

 

10. සති, ‘ඒ කරණකොට ගෙන සිහි කෙරෙත්නුයි’ හෝ තෙමේ සිහි කෙරේනුයි’ හෝ, ‘සිහිකිරීම් මාත්‍ර‍ය හෝ සතිය යි. ඒ අරමුණ සිහිකිරීම් ලක්‍ෂණය යැ. සිහි නැති නො වීම කෘත්‍යය යැ. සිත ආරක්‍ෂා කිරීම වැටහෙන ආකාරය යැ. ස්ථිර සංඥාව හෝ, කායානුපස්සනා සතිපට්ඨානාදිය ආසන්න කාරණය යි. (අරමුණෙහි දැඩිවැ පිහිටන හෙයින් ඉන්‍ද්‍ර‍ඛීලය මෙන් ද, චක්‍ෂුර්ද්වාරාදිය ආරක්‍ෂා කරන හෙයින් දොරටු පාලකයකු මෙන් ද දතයුතු.)

 

11. හිරි, 12. ඔත්තප්ප, ‘කාය දුශ්චරිතාදීන් හැකිලේ නුයි’ හිරි නම් වේ. ලජ්ජාවට නමෙකි. ‘ඔවුන් කෙරෙන් මැ තැති ගනී නුයි ඔත්තප්ප නමි. පාපයෙන් උද්වේගයට මේ නමි. ඔවුනතුරින් පාපයෙන් පිළිකුල් වන ගතිය හිරියෙහි ලක්‍ෂණය යැ. ඔත්තප්පය තැති ගන්නා ලක්‍ෂණය යැ. හිරියෙහි ලජ්ජා ස්වභාවයෙන් පව් නො කිරීම කෘත්‍යය යැ. ඔත්තප්පයෙහි භය ස්වභාවයෙන් පව් නොකිරීම කෘත්‍යය යැ. කීප්‍ර‍කාරයෙන් ලජ්ජා ස්වභාවයෙන් හෝ, භය ස්වභාවයෙන් පාපයෙන් හැකිළීම වැටහෙන ආකාරය යැ. මොහු ආත්ම ගෞරවය හා පර ගෞරවය ආසන්න කාරණය හ. කුලකාන්තාවක සේ ආත්ම ගෞරවයෙන් පව් නොකිරීම හිරිය යි. වේශ්‍යාවක් මෙන් මෙරමා හට භයින් පව් නොකිරීම ඔත්තප්පය යි. (මේ ධර්‍ම දෙක ලෝකපාලකයෝ යි.)

 

13. අලෝභ, ‘ඉන් ලෝභ නොවෙත්නුයි හෝ, ‘තෙමේ ලෝභ නො කෙරේනුයි, හෝ ලෝභ නො කිරීම් මාත්‍ර‍ය, හෝ අලෝභය යැ. ආලම්බනයෙහි සිත ගිජු නොවීම අලෝභ ලක්‍ෂණය යැ. සිත නො ලැගෙන බව හෝයි. (කමල පත්‍රයෙහි දිය බිඳ මෙනි.) මමත්‍වය නො කිරීම කෘත්‍යය යැ. (රහත් භික්‍ෂුව මෙනි.) නො ඇලෙන බව වැටහෙන ආකාරය යැ. (අශුචියෙහි හුණු පුරුෂයා මෙනි.)

 

14. අදෝස, නො සැඬ බව හෝ, අවිරුද්ධ බව ද්වේෂයේ ලක්‍ෂණය යැ. අනුකූල මිත්‍ර‍යකුට බඳු උපමා ඇත්තේ යැ. නව වැදෑරුම් ආඝාත විනයනය හෝ, දාහ සන්සිඳවීම් කෘත්‍යය යැ. (සඳුන් මෙනි) (පුන් සඳසේ) සෞම්‍ය බව වැටහෙන ආකාරය යි.

 

15. අමෝහ, ඒ ඒ වස්තූන් පිළිබඳ විශේෂ ලක්‍ෂණ හා, අනිත්‍යාදි සාමාන්‍ය ලක්‍ෂණ පිළිබඳ දැනීම අමෝහයේ ලක්‍ෂණය යැ. (ඒ ඒ දැය පිළිබඳ නොපැකිල දැනීම හෝ ලක්‍ෂණයයි. (දක්‍ෂ දුනුවාවකු විදි ඊය නො වැරද විනිවිද යන්නා සේයි.) (පහනක් මෙන්) විෂය වස්තූන් ප්‍ර‍කාශ කිරීම කෘත්‍යය යැ. (වනයෙහි හැසිරෙන පලපුරුදු මාර්‍ග දේශකයා සේ) නො මුළා බව නුවණට වැටහෙන ආකාරය යි.

 

මේ අලෝභ, අදෝස, අමෝහ තුනම සියලු චාතුර්භූමික කුශලයන් ගේ පිහිටීමට මුල්වන්නාහ යි දතයුතු.

 

16. කාය පස්සද්ධි 17. චිත්ත පස්සද්ධි, කාය සඞ්ඛ්‍යාත වේදනා, සංඥා සඞ්ඛාර යන ස්කන්‍ධත්‍ර‍ය පිළිබඳ ක්ලේශදාහ සංසිඳවීම කායපස්සද්ධිය යැ. චිත්තයා ගේ දාහ සංසිඳවීම චිත්ත පස්සද්ධිය යැ. එහෙයින් මේ දෙක එක්වැ උපදනා කාය-චිත්ත දරථ සංසිඳවීම ලක්‍ෂණය යැ. කාය චිත්තයන් පීඩාකරන්නා වූ උද්ධච්චාදිය මැඩපීම මොවුන්ගේ කෘත්‍යය යැ. කාය-චිත්තයන් ගේ විඩා සංසිඳුවා නිශ්චල බවට පමුණුවා සීතල කිරීම මැ වැටහෙන ආකාරය යැ. කාය-චිත්ත දෙදෙන ආසන්න කාරණයැ යි. කාය-චිත්ත දෙදෙනා නොසන්සුන් කරන උද්ධච්චාදි ක්ලේශයන්ට ප්‍ර‍තිපක්‍ෂයහ යි දතයුතු.)

 

18. කාය ලහුතා, 19. චිත්ත ලහුතා, පෙර කී සේ කායයාගේ සැහැල්ලු බව කාය ලහුතායි. චිත්තයාගේ සැහැල්ලු බව චිත්ත ලහුතායි. ඔහු කායයා ගේ බරබව වූ ථීනය ද, චිත්තයා ගේ බරබව වූ මිද්ධය ද සංසිඳවීම ලක්‍ෂණයහ. ඔවුන් මැඩීම කෘත්‍යයහ. කාය-චිත්ත දෙදෙනා ගේ බර බව වූ කෙලෙසුන්ට ප්‍ර‍තිපක්‍ෂ බව වැටහෙන ආකාරයහ. කාය-චිත්ත දෙදෙන ආසන්න කාරණයහ. (කාය-චිත්තයන් ගේ බරබව් කරන ථීන-මිද්‍ධාදි ක්ලේශයන්ට ප්‍ර‍තිපක්‍ෂයහ.)

 

20. කාය මුදුතා 21. චිත්ත මුදුතා, (පෙර කී) කායයා ගේ මෘදු බව කාය මුදුතාය. චිත්තයා ගේ මෘදු බව චිත්ත මුදුතායි. ඔහු කාය-චිත්තයන් ගේ තද බව හා කැකුළු බව වූ දෘෂ්ටි-මානයන් සන්සිඳවීම් ලක්‍ෂණය හ. කාය-චිත්තයන් ගේ දැඩි බව් මැඩීම කෘත්‍යයහ. අරමුණෙහි නො ගැටීම වැටහෙන ආකාරය හ. කාය-චිත්ත දෙදෙන ආසන්න කාරණයහ. (කාය-චිත්තයන් ගේ තදබව් කරන දිට්ඨි-මානාදි ක්ලේශයනට ප්‍ර‍තිපක්‍ෂය හ.)

 

22. කායකම්මඤ්ඤතා, 23. චිත්තකම්මඤ්ඤතා, කායයා ගේ කුශල කර්‍මයන්හි යෝග්‍යතාව කායකර්‍මණ්‍යතාව ය. චිත්තයා ගේ යෝග්‍ය බව චිත්තකර්‍මණ්‍යතාව යි. ඔහු කාය චිත්ත අකර්‍මණ්‍යභාවය සන්සිඳීම් ලක්‍ෂණයහ. කාය-චිත්ත අකර්‍මණ්‍ය භාවය මර්‍දනය කිරීම් කෘත්‍යය හ. කාය-චිත්ත දෙදෙනා ගේ කර්‍මණ්‍යභාවයෙන් අරමුණු ගැනීම් ඵලය හ. කාය-චිත්ත ආසන්න කාරණය හ. (කාය-චිත්ත දෙදෙනා ගේ අකර්‍මණ්‍ය භාවය කරන්නා වූ කාමච්ඡන්‍දාදි සෙසු නීවරණයනට ප්‍ර‍තිපක්‍ෂ වූ, ප්‍ර‍සාදනීය වස්තුවෙහි ප්‍ර‍සාද එළවන්නාහ. හිත වූ ඒ ඒ ක්‍රියාවෙහි යෙදීමට සමර්‍ථයහ. (සුවණි විශුද්ධිය මෙනැයි දතයුතු.)

 

24. කායපාගුඤ්ඤතා, 25. චිත්තපාගුඤ්ඤතා, පෙර කී කායයා ගේ පුහුණු (නො ගිලන්) බව කායපාගුඤ්ඤතා යි. චිත්තයන් ගේ නො ගිලන් බව චිත්තපාගුඤ්ඤතා යි. ඔහු කාය - චිත්තයන් ගේ නො ගිලන් බව ලක්‍ෂණය හ. කාය-චිත්තයන්ගේ ගිලන් බව් මැඩීම් කෘත්‍යයහ. නිවරද බව් නුවණට වැටහීම් - ආකාරයහ. කාය චිත්ත දෙදෙන ආසන්න කාරණයහ. (කාය-චිත්තයන්ගේ ගිලන් බවට පමුණුවට අස්සාද්ධියාදියට ප්‍ර‍තිපක්‍ෂය හ.)

 

26. කායුජ්ජුකතා, 27. චිත්තුජ්ජුකතා, පෙරැ කී කායයාගේ සෘජු භාවය කායුජ්ජුකතා යැ. චිත්තයා ගේ සෘජු භාවය චිත්තුජ්ජුකතායි. ඔහු කාය - චිත්තයන්ගේ නොඇඳ බව් ලක්‍ෂණයහ. කාය - චිත්තයන් ගේ වධකභාවය මැඩීම කෘත්‍යය හ. කාය-චිත්ත වඩක සෘජු කිරීම වැටහෙන ආකාරය හ. කාය චිත්ත දෙදෙන ආසන්න කාරණයහ. (කාය-චිත්තයන් ගේ කුටිල භාවය කරන මායා-සාඨෙය්‍යාදීන්ට ප්‍ර‍තිපක්‍ෂය හ.)

 

විශේෂ :- මේ කායපස්සද්ධි ආදියට ප්‍ර‍තිපක්‍ෂ එක එක ධර්‍මය වන හෙයින් කෙලෙස් වැඩීමාදි එක එක කෘත්‍යයක් ම කරන්නේයි. මෙහි ධර්‍ම යුගලයක් මැ වදාළ හෙයින් චිත්තපස්සද්ධි ආදීන් චිත්තය සංසිඳීම ය, සැහැල්ලුවීම ය, මොළොක්වීම ය. කර්‍මණ්‍යවීම ය, පුහුණුවීම ය, නො ඇදවීමය යන ස්වභාවයන්ගෙන් යුක්ත වේ. (කායපස්සද්ධි ආදීන් නාම කායයාගේ පමණක් නොව රූපකායයාගේ ද සන්සිඳීම් ආදිය වේ. එහෙයින් මැ භාග්‍යවතුන් වහන්සේ මේ කාමාවචර චිත්තයෙහි මැ පස්සද්ධි ආදියේ ද්විප්‍ර‍කාරය වදාළ සේක. අන්‍ය සමාධි ආදීන්හි ද්විප්‍ර‍කාරය නො වදාළ සේක.)

 

28. ඡන්‍දය, අරමුණු ගැනීමේ කැමති බවට නමෙකි. එය කත්තුකම්‍යතාවය ලක්‍ෂණය කොට ඇත්තේ යැ. ආලම්බන සෙවීම කෘත්‍යය යැ. අරමුණු කැමති බව වැටහෙන ආකාරය යැ. ඒ කැමැති වන අරමුණ මැ ආසන්න කාරණය යි. (මෙය අරමුණු ගැනීමෙහි අත දිගුකිරීමක් මෙන් දතයුතු)

 

29. අධිමොක්ඛය, අරමුණු සනිටුහන් කිරීම අධිමොක්‍ෂය යි. නො හැකිළ එළඹීම කෘත්‍යය යැ. නිශ්චය කිරීම නුවණට වැටහෙන ආකාරය යැ. නිශ්චය කළ ධර්‍මයමැ ආසන්න කාරණය යි. (ආලම්බනය නිශ්චය වීමෙන් ඉන්‍ද්‍ර‍ඛීලය මෙන් දතයුතු)

 

30. මනසිකාර, කිරීම කාර නමි. අරමුණ සිතෙහි (ඇති) කිරීම මනසිකාර නමි. භවාඞ්ග මනසින් විසදෘශ වීථි - ජවන මනස කෙරේනුයි හෝ මනසිකාර නමි.

 

මනසිකාරය, අරමුණ පිළියෙල කරන්නා වූ මනසිකාරය, වීථි චිත්තය පිළියෙළ කරන පඤ්චද්වාරාවජ්ජන චිත්තය, ජවනය පිළියෙල කරන්නා වූ මනොද්වාරාවජ්ජන චිත්තය දැයි මනසිකාර ත්‍රිවිධ ය. මේ අරමුණ පිළියෙල කරන මනසිකාර චෛතසිකය යි) මෙය සම්ප්‍ර‍යුක්ත ධර්‍ම අරමුණට අභිමුඛ කිරීම හා, අරමුණ කරා දිවවීම ද ලක්‍ෂණය යැ. සම්ප්‍ර‍යුක්ත (චෛතසික) ධර්‍මයන් අරමුණෙහි යෙදවීම කෘත්‍යය යැ. අරමුණෙහි අභිමුඛ වැ ඉපදීම නුවණට වැටහෙන ආකාරය යැ. ආරම්මණය ආසන්න කාරණය යි.

 

(සංස්කාර ස්කන්ධයෙහි ඇතුළත් මේ මනසිකාරය ආරම්මණ පිළියෙල කරන හෙයින් සම්ප්‍ර‍යුක්තයන්ට සාරථියකු මෙන් දතයුතු. වීථි පටිපාදකය, යනු පඤ්චද්වාරාවජ්ජනයට නමෙකි. ජවන පටිපාදකය යනු මනොද්වාරාවජ්ජනයට නමෙකි. මේ දෙක මෙහි අදහස් නො කෙරේ.

 

31. තත්‍ර‍මජ්ඣත්තතා, සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්හි මැදිහත්ව පවත්නා ස්වභාවය, තත්‍ර‍මජ්ඣත්තතාව යි. ඒ ඒ චිත්ත - චෛතසිකයන් මැදහත් වැ බැලීම මෙහි ලක්‍ෂණය යැ. ඔවුන් ගේ අඩු වැඩි බව වැළකීම හෝ, පක්‍ෂපාත බව වැළකීම කෘත්‍යය යැ. මැදහත් බව වැටහෙන ආකාරය යැ. සමවැ යන ආජානීය අසුන් කෙරෙහි මැදහත් වන සාරථියකු සේ චිත්ත-චෛතසිකයන් කෙරෙහි සමවැ පැවැත්ම ආසන්න කාරණය යි.

 

32. කරුණා, 33. මුදිතා, බ්‍ර‍හ්මවිහාර නිර්‍දෙශයෙහි කී සෙයින් දන්නේ යි.[490]

 

විශේෂ :- එහි කීයේ අර්පණාප්‍රාප්ත රූපාවචර යැ. මෙහි ගැනෙනුයේ කාමාවචරය යි. මේ මෙහි වෙනස යි.

 

මතභේද :- ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් මෙත්තා- උපෙක්ඛා දෙක ද, මේ අනියත චෛතසික විෂයෙහි කැමැති වෙති. ඒ නො ගත යුතු. අද්වේෂය මැ මෛත්‍රිය වන බැවින් හා, තත්‍ර‍මජ්ඣත්තතාවය උපෙක්ඛා ද වන හෙයිනි.

 

34. කාය දුශ්චරිත විරති, ප්‍රාණඝාතාදි කාය දුශ්චරිතයෙන් වැළැක්ම කාය විරති නම.

 

35. වාක් දුශ්චරිතයෙන් විරතිය වාක් විරති නම.

 

36. මිථ්‍යා ආජීවයෙන් වැළැක්ම මනෝදුශ්චරිත විරති නමි.

 

මේ තුන මැ කාය දුශ්චරිතාදීන් ව්‍යතික්‍ර‍මණය නො කිරීම් ලක්‍ෂණය යැ. (කාය දුශ්චරිතාදීන් නො මඩනා ලක්‍ෂණය යි කීයේ වේ.) කාය දුශ්චරිතාදි වස්තුවෙන් නො හැකිළීම කෘත්‍යය යැ. කාය දුශ්චරිතාදිය නොකිරීම වැටහෙන ආකාර යැ. සද්ධි-හිරි-ඔත්තප්ප-අප්පිච්ඡතාදි ගුණ ආසන්න කාරණය යි. (පාප කර්‍මයන්ගෙන් සිත වීමුඛ බව් කිරීමය යි දතයුතු.)

 

මෙසේ මේ සතිස් (36) සංස්කාර ප්‍ර‍ථම කාමාවචර කුශල චිත්තය හා සම්ප්‍රයෝගයට යෙති’යි දතයුතු.

දෙවෙනි සිත සමගද එසේ මැ යෙදෙති. හුදෙක් එහි සඞ්ඛාර බව වෙනසි.

තුන්වන සිතෙහි, අමෝහය හැර සෙස්සෝ 35 යෙදෙති.

සතරවැන්නෙහි ද සඞ්ඛාර බව වෙනසි.

පස්වැන්නෙහි ප්‍ර‍ථමයෙහි කී ප්‍රීතිය හැර සෙස්සෝ (35) යෙදෙති.

සවැන්නෙහි ද සඞ්ඛාරය වෙනසි.

සත්වැන්නෙහි අමෝහ-පීති හැර, සෙස්සෝ (34) යෙදෙති.

අටවැන්නෙහි වෙනස සඞ්ඛාරය පමණෙකි.

විරති තුන හැ පළමු සිතෙහි කී සියල්ල (35) ප්‍ර‍ථම රූපාවචර සිතේ යෙදේ.

 

දෙවැන්නෙහි ඉන් විතර්‍කය හැර සෙස්සෝ (34) ද,

තුන්වැන්නෙහි විචාරය හැර සෙස්සෝ (33) ද,

සිවුවැන්නෙහි (ඉනුදු) ප්‍රීතිය හැර සෙස්සෝ (32) ද,

 

පස්වැන්නෙහි (ඉනුදු) කරුණා-මුදිතා දෙක හැර සෙස්සෝ (30) ද යෙදෙති.

ආරූප්‍ය සතරෙහි එයට වෙනස්වනුයේ හුදෙක් ආරූප්‍ය භාවය පමණි.

 

ලෝකෝත්තර ප්‍ර‍ථමධ්‍යානික මාර්‍ග චිත්තයෙහි, පඨමජ්ඣානික රූපාවචර සිත්හි කීසේ මැයි.

 

ද්විතීයධ්‍යානික මාර්‍ග චිත්තයෙහි ද දුතියජ්ඣානිකාදියෙහි කීසේ ම දතයුතු.

 

විශේෂ :- කරුණා - මුදිතා නො යෙදීම හා විරතීන් නියතයෙන් මැ යෙදීම ලෝකෝත්තරයෙහි වෙනසි. මෙසේ කුසල් විෂයෙහි සඞ්ඛාර දතයුතු.

 

අකුසල් සිත් අතුරින් ලෝභ මූලික පළමුවැනි අකුසල් සිතෙහි නියතයෙන් ආ තෙළෙසය, යෙවාපනක වශයෙන් ආ සතර දැයි සතළොස් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයෝග වෙති. ඒ වනාහි ඵස්ස, චේතනා, විතක්ක, විචාර, පීති, විරිය, ජීවිතින්‍ද්‍රිය, සමාධි, අහිරික, අනොත්තප්ප, ලෝභ, මෝහ, මිච්ඡාදිට්ඨි යන නම් වශයෙන් කී තෙළෙසය ඡන්‍දය, අධිමොක්ඛය, උද්ධච්චය, මනසිකාරය යන යේවාපනක සතරදැයි යන මොහු යි.

 

ඔවුනතුරින් (පෙර නො කීවෝ විස්තර වෙති.)

 

37. අහිරිකය, කාය දුශ්චරිතාදීන් කෙරෙහි පිළිකුල් නො වීම හෝ, ලජ්ජා නො වීම අහිරිකය යැ. අහිරික බව හෝ අහිරික ය.

 

38. කාය දුශ්චරිතාදීන් බය නො වන්නා වූ ස්වභාවය අනොත්තප්පය යැ. ඉන් කායදුශ්චරිතාදීන් කෙරෙහි පිළිකුල් නොවීම හෝ, ලජ්ජා නොවීම අහිරික ලක්‍ෂණය යැ. ඔවුන්ගෙන්ම භය නො වීම හෝ, තැති නො ගැනීම අනොත්තප්ප ලක්‍ෂණය යි. මේ මෙහි සංක්‍ෂේපය යි.

 

විස්තරය හිරොත්තප්පයනට කී ක්‍ර‍මයට ප්‍ර‍තිපක්‍ෂ වශයෙන් දතයුතුයි.

 

39. ලෝභය, මේ කරණකොට ගෙන සම්ප්‍ර‍යුක්ත ධර්‍ම ආලම්බනයෙහි අලේනුයි හෝ, තෙමේත් ඇලේනුයි හෝ ඇලීම් මාත්‍ර‍යනුයි හෝ ලෝභ නම් වේ.

 

40. මෝහය, මේ කරණකොට සම්ප්‍ර‍යුක්ත ධර්‍ම ආලම්බනයෙහි මුළාවේ නුයි හෝ, තෙමේත් මුළාවේ නුයි හෝ, මුළාවීම් මාත්‍ර‍ය නුයි හෝ මෝහ නම් වේ.

 

ඔවුනතුරින් වඳුරු ලහටුවක් සේ අරමුණ දැඩිව ගැනීම් ලෝභයේ ලක්‍ෂණය යැ. රත්වූ කබලෙහි මස්පිඬක් සේ අරමුණෙහි ඇලීම කෘත්‍යය යැ. තෙල් අඳුන්දැලි සේ අත නො හැරීම වැටහෙන ආකාරය යැ. ‘කාමච්ඡන්‍දාදි සංයෝජන ධර්‍මයන්හි ආස්වාදයක් ඇතැයි’ දැකීම ආසන්න කාරණය යි. (ස්වභාවයෙන් වැඩෙන සැඩ පහර ඇති ගඟක් මහාසමුද්‍ර‍ය කරා ගලාබසින්නා සේ, තෘෂ්ණාව තත් සම්ප්‍ර‍යුක්ත පුද්ගලයා අපායට මැ පමුණුවයි.)

 

චිත්තයා ගේ අන්‍ධ බව හෝ, නො දැනීම හෝ, මෝහයේ ලක්‍ෂණය යැ. යථාර්‍ථය ප්‍ර‍තිවේධ නො කිරීම හෝ, ආලම්බන ස්වභාවය වැසීම හෝ, කෘත්‍යය යැ. අයහපත් ප්‍ර‍තිපත්ති හෝ, අන්‍ධකාර කිරීම හෝ වැටහෙන ආකාරය යැ. අයෝනිසෝමනසිකාරය ආසන්න කාරණය යි. (මේ සියලු අකුශලයනට මූල කාරණය යි දතයුතු.)

 

41. මිච්ඡාදිට්ඨිය, මේ කරණකොට අනිත්‍යාදි ධර්‍ම ස්වභාවයට ප්‍ර‍තිපක්‍ෂ සේ, නිත්‍යාදි වශයෙන් දකීනුයි හෝ, ‘තෙමේම වරදවා දකිනුයි’ හෝ, වරදවා දැකීම් මාත්‍ර‍ය හෝ මිච්ඡාදිට්ඨි නම. එහි නුනුවණින් දැඩිකොට ගැනීම ලක්‍ෂණය යැ. දැඩිකොට අල්වා ගැනීම කෘත්‍යය යැ. අයථා ක්‍ර‍මයෙන් මෙනෙහි කිරීම වැටහෙන ආකාරය යැ. බුද්ධාදි ආර්‍ය්‍යයන් නො දක්නා කැමැත්ත ආසන්න කාරණය යි. (මේ සියලු වරද අතුරින් මහාසාවද්‍ය යි දතයුතු.)

 

42. උද්ධච්චය, නොසන්සුන් බව උද්ධච්චයයි. එය වාතයෙන්  පහළ ජලයක් සේ, නො සන්සුන් බව ලක්‍ෂණය යැ. වාතයෙන් පහළ ධජයක් සේ, චඤ්චල ස්වභාවය කෘත්‍යය යැ. ගලකින් පහරන ලදුවැ උඩ නැගි අළු ගොඩක් සේ තැති ගැනීම වැටහෙන ආකාරය යැ. (චිත්තයා ගේ නොසන්සුන් බැවිනි. අයෝනිසෝමනසිකාරය ආසන්න කාරණය යි.

 

සෙස්ස කුශලයෙහි කී නයින් දතයුතු. මෙහි වෙනස අකුශල බවයි. එහෙයින්ම ලාමක බව වේ. මෙසේ මේ සතළොස් (17) සංස්කාරයෝ ප්‍ර‍ථම අකුසල සිත හා සම්ප්‍රයෝගයට යෙති යි දතයුතු.

 

යම්සේ පළමුවන අකුසල සිත හා යෙදේ ද, එසේම දෙවෙනි සිතෙහි ද යෙදේ. වෙනස සසඞ්කාර භාවය (ථීන-මිද්‍ධයන්ගේ) අනියත බවයි. ඒකුන්විස්සෙක් (19) සම්ප්‍රයෝග වේ.

 

43. හැසුණු බව ථීනයයි.

 

44. කළකිරුණු බව මිද්ධය යි. චිත්තයා ගේ අනුතසාහිත බව හා, පසුබට බව ථීනය යි. වේදනාදි නාමස්කන්‍ධයන් ගේ අරමුණු ගැනීමෙහි අදක්‍ෂ බව හා අකර්‍මණ්‍ය බව මිද්ධ යි කී සේයි.

 

ඉන්, ථීනය චිත්තයා ගේ අනුත්සාහය ලක්‍ෂණය යැ. වීර්‍ය්‍යය බැහැර කිරීම එහි කෘත්‍යය යැ. සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් පසුබට කිරීම හෝ කෘත්‍යය යැ. සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් හා ගැලෙන බව වැටහෙන ආකාරය යි.

 

මිද්ධය වේදනාදි ස්කන්‍ධත්‍ර‍යයා ගේ කටයුත්තෙහි අසමර්ථ බව ලක්‍ෂණය යැ. මුවහ කිරීම එහි කෘත්‍යය යැ. හැකිලීම හෝ, නිදාවැටීම හෝ වැටහෙන ආකාරය යැ. දෙකම අධිකුශලයන්හි නො ඇලීම ය, ඇඟමැලි ඇරීමය යනාදීන්හි අයෝනිසෝමනසිකාරය ආසන්න කාරණය යි.

 

තුන්වන සිතෙහි පළමු සිතෙහි කීවවුන් අතුරින් මිථ්‍යා දෘෂ්ටිය හැර සෙසු චෛතසිකයෝ යෙදෙති.

 

මෙහි මානය අනියතයෙන් වේ. (මේයැ වෙනස.) ඒ සමඟ සතලොසෙක් (17) වේ.

 

45. මානය උඩඟු බව ලක්‍ෂණ කොට ඇත්තේ යැ. අනුග්‍ර‍හය කෘත්‍යය කොට ඇත්තේ යැ. කොඩියක් සේ උසස් තන්හි තබා පෙන්වීම වැටහෙන ආකාරය යැ. මිථ්‍යාදෘෂ්ටියෙන් තොර ලෝභය, ආසන්න කාරණය යැ. (උන්මාදයකට බඳු උපමා ඇත්තේ යි.)

 

සතරවැන්නෙහි මිථ්‍යාදෘෂ්ටිය හැර, දෙවෙනි සිතේ කී එකුන්විස්ස (19) දතයුතු. මෙහි ද මානය අනියතයෙන් වේ.

 

පස්වැන්නෙහි පළමුවැන්නෙහි කී චෛතසිකයන් අතුරින් ප්‍රීතිය හැර සෙසු සොළස (16) යෙදේ.

 

සවැන්නෙහි පස්වැන්නෙහි මෙන් වේ. සසඞ්ඛාර බැවින් ථීන-මිද්ධයන් ගේ අනියත බව වෙනසි. අටළොසක් (18) යෙදේ.

 

සත්වැන්නෙහි දිට්ඨිය හැර, පස්වැන්නෙහි කීවෝ යෙදෙති. මෙහි ද මානය අනියමයෙන් වේ. සොළසෙකි. (16)

 

අටවැන්නෙහි සවැන්නෙහි කීවවුන් ගෙන් දිට්ඨිය හැර සෙසු අටළොස (18) වෙයි. මෙහි ද මානය අනියමයෙන් වේය යි දතයුතු.

 

දෝස මූලික දෙසිතෙහි පෙර කී නියතයෙන් (ස්වරූපයෙන්) වූ එකොළොස හා යෙවාපනක සතර ද, අනියත තුනදැ යි අටළොස (18) වෙයි. (ඵස්ස-චේතනා-විතක්ක-විචාර-විරිය-ජීවිතින්‍ද්‍රිය-සමාධි-අනොත්තප්ප-දෝස-මෝහ යනු ස්වරූපයෙන් කී එකොළොසය.)

 

(ඡන්‍ද-අධිමොක්ඛ-උද්ධච්ච-මනසිකාර මේ යේවාපනක සතර ය. ඉස්සා-මචේඡර-කුක්කුච්ච යනු අනියත තුන යි.)

 

45. දෝස, ඒ කරණකොට ගෙන තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයෝ දූෂණය වෙත් නුයි හෝ, තෙමේ දූෂණ වේනු යි හෝ, දූෂණයවීම් මාත්‍ර‍ය නුයි හෝ ද්වේෂ නමි. එය දණ්ඩෙන් පහළ ආශීවිෂයකු මෙන් කිපීම ලක්‍ෂණය යැ. සර්‍ප විෂය නගින්නාක් මෙන් විපරීත වැ පැතිරීම හෝ ලැව්ගින්නක් මෙන් තමා ගේ නිශ්‍ර‍ය වූ හෘදය වස්තුව දැවීම කෘත්‍යය යැ. ලබන ලද අවකාශ ඇති සතුරකු මෙන් තමා හා අනුන් නැසීම වැටහෙන ආකාරය යැ. විෂ මිශ්‍ර‍ පූතිමූත්‍ර‍යක් සේ නවවිධ ආඝාත වස්තු ආසන්න කාරණය යි.

 

46. ඉස්සා, නො ඉවසීම ඊර්ෂ්‍යාව යි. ඕ පරසම්පත් නො ඉවසීම ලක්‍ෂණය කොට ඇත්තී ය. එහි මැ නො ඇල්ම කෘත්‍යය යැ. ඉන් මුහුණ හැකිළවීම වැටහෙන ආකාරය යැ. මෙරමා සම්පත්තිය ආසන්න කාරණය යි.

 

(මේ සංයෝජනයැ යි දතයුතු)

 

47. මච්ඡරිය, මසුරු බව මච්ඡරිය යැ. එය ලැබූ හෝ, ලැබිය යුතු තම සම්පත් සැඟවීම ලක්‍ෂණය යැ. ඒ සම්පත්තීන්ගේ ම මෙරමා හා සාධාරණ බව නො ඉවසීම එහි කෘත්‍යය යැ. හැකිළෙන බව වැටහෙන ආකාරය යැ. නොහොත් කටුකාකාරර පැවැත්ම වැටහෙන ආකාරය යැ. තමා ගේ සම්පත්තිය ආසන්න කාරණය යි. (චිත්තයා ගේ විපරීත ස්වභාවය යි දතයුතු.)

 

48. කුක්කුච්ච, පිළිකුල් කටයුතු ක්‍රියාව කුකත යැ. කුකතයා ගේ ස්වභාවය කුක්කුච්ච යැ. එහි පසුතැවිලිවීම ලක්‍ෂණය යැ. කළ දුශ්චරිතය හා නො කළ සුචරිතය අනුවැ සෝක කිරීම කෘත්‍යය යැ. විපිළිසර වීම වැටහෙන ආකාරය යැ. කරන ලද දුශ්චරිත හා, නො කරන ලද සුචරිතය ආසන්න කාරණය යි. (දාසබව මෙනැයි දතයුතු) සෙස්සෝ යට කී ආකාර ඇත්තෝ යි.

 

මෙසේ මේ අටළොස් (18) සංස්කාරයෝ, ප්‍ර‍ථම දෝස මූලික චිත්තය හා සම්ප්‍රයෝගයට යෙතියි දතයුතු.

 

ප්‍ර‍ථමද්වේෂමූලික චිත්තය හා යෙදුණු සේ, දෙවන චිත්තය සමග ද චෛතසිකයෝ යෙදෙති. සසඞ්ඛාර භාවයෙන් අනියතයන් අතුරින් ථීන-මිද්ධයන්ගේ වීම වෙනසි. විස්සෙකි. (20)

 

මෝහ මූලික දෙක අතුරින්, විචිකිච්ඡා, සම්ප්‍ර‍යුක්ත චිත්තය හා ඵස්ස-චේතනා-විතක්ක-විචාර - විරිය - ජීවිත-චිත්තට්ඨිති-අහිරික-අනොත්තප්ප-මොහ-  විචිකිච්ඡා යන ස්වරූපයෙන් වූ එකොළොස ද, උද්ධච්ච-මනසිකාර යන යෙවාපනක දෙකදැ යි තෙළෙස (13) වෙයි. (මෙහි අධිමොක්ඛ නො යෙදේ.)

 

විශෙෂ :- මෙහි චිත්තට්ඨිති නම් චිත්තයා ගේ ප්‍ර‍වෘත්ති ස්ථිති මාත්‍ර‍ය යි. දුර්‍වලසමාධිය යි. අධිමොක්ඛය නැති හෙයින් මෙසේ වී.

 

49. විචිකිච්ඡා, පිළියමින් (නුවණින්) පහවූ හෙයින් විචිකිච්ඡා නමි. එය සැක කිරීම ලක්‍ෂණය යැ. කම්පාවීම එහි කෘත්‍යය යැ. නිශ්චය නොවීම වැටහෙන ආකාරය යැ. ඒකාන්ත වශයෙන් නො ගැනීම හෝ වැටහෙන ආකාරය යැ. අයොනිසොමනසිකාරය ආසන්න කාරණය යි. ප්‍ර‍තිපත්තීන්ට අන්තරායකර ධර්‍මයෙකැයි දතයුතු. විචිකිච්ඡාව හැර සෙසු චෛතසික කී ආකාරමැයි.

 

විචිකිච්ඡා සම්ප්‍ර‍යුක්ත සිතෙහි කී චෛතසිකයන් අතුරින් විචිකිච්ඡාව හැර සෙසු දොළස (12) උද්ධච්ච සම්ප්‍ර‍යුක්ත සිතෙහි වෙයි. විචිකිච්ඡාව නැති හෙයින් මෙහි අධිමොක්ඛය උපදී. ඒ සමග තෙළෙසෙක් (13) වෙයි. අධිමොක්ඛය යෙදෙන හෙයින් බලවත් සමාධිය වේ. මෙහි උද්ධච්චය ද ස්වරූපයෙන්ම යෙදේ. අධිමොක්ඛ-මනසිකාර දෙක යෙවාපනක වශයෙන් වේ.

 

අකුශල සංස්කාර මෙසේයි.

 

 

අව්‍යාකෘත

 

අව්‍යාකෘත අතුරින් විපාක අව්‍යාකෘත පළමුවැවේ. අහේතුක - සහේතුක - භේදයෙන් ඒ දෙ පරිදි වේ. ඔවුනතුරින් අහේතුක විපාකවිඤ්ඤාණ සම්ප්‍ර‍යුක්ත වූයේ අහේතුක සංස්කාර යැ. ඔවුනතුරිනිදු කුසල-අකුසල-විපාක චක්ඛු විඤ්ඤාණය හා සම්ප්‍ර‍යුක්ත වූවෝ පළමුවැ කියනු ලැබෙති.

 

එහි ඵස්ස-චේතනා-ජීවිත-චිත්තට්ඨිති යැයි ස්වරූපයෙන් ආ සතර යැ යේවාපනක වශයෙන් ආ මනසිකාර යැයි මෙසේ පසෙ (5) කි. සොත-ඝාන-ජිව්හා-කාය විඤ්ඤාණයෙන් හා සම්ප්‍ර‍යුක්ත වූවෝ ද මොහුමැයි. විපාක මනෝධාතු (සම්පටිච්ඡන) සිත් දෙකෙහි මොවුන් හා, විතක්ක-විචාර-අධිමොක්ඛ තුනදැයි අටෙක් (8) වෙයි. ත්‍රිවිධ අහේතුක මනෝවිඤ්ඤාණ ධාතු - (සන්තීරණ)න්හි ද එසේමැයි. ඉන් සෝමනස්ස සහගත මනෝවිඤ්ඤාණ ධාතුවෙහි ඔවුන් හා ප්‍රීතිය අධිකයැයි දතයුතු.

 

සහේතුක විපාක විඤ්ඤාණ හා සම්ප්‍ර‍යුක්ත වූවෝ සහේතුක යෝයි. ඔවුනතුරින් සහේතුක විපාක විඤ්ඤාණ අට හා සම්ප්‍ර‍යුක්ත වූවෝ වනාහි කාමාවචර කුසල් අට හා සම්ප්‍ර‍යුක්ත වූ සංස්කාරයන් හා සමාන මැයි.

 

වෙනස :- අනියතයන් අතුරින් කරුණා-මුදිතා දෙක සත්ත්‍වාලම්බන හෙයින් විපාකයන් හා නො යෙදේ.

 

කාමාවචර විපාකයෝ වනාහි හුදෙක් පරිත්තාලම්බනයෝයි. කරුණා-මුදිතා පමණක් නොව, විරතීහුද විපාකයන්හි නැති. (පඤ්ච ශික්‍ෂාපද කුසල් ම යැයි වදාළේ එහෙයිනි.)

 

රූපාවචර - අරූපාවචර ලෝකෝත්තර - විපාක විඤ්ඤාණ සම්ප්‍ර‍යුක්ත වූවෝ, ඔවුන් ගේ කුසලවිඤ්ඤාණ සම්ප්‍ර‍යුක්ත සංස්කාර හා සමානයෝ මැයි.

 

ක්‍රියා අව්‍යාකෘතද, අහේතුක-සහේතුක භේදයෙන් ද්විවිධ යැ. ඉන් අහේතුක ක්‍රියා විඤ්ඤාණ සම්ප්‍ර‍යුක්ත වූවෝ අහේතුකයෝයි. ඔහුද, කුසල විපාක මනෙව්ධාතු, (සම්පටිච්ඡන) අහේතුකමනෝවිඤ්ඤාණ ධාතු (සන්තීරණ) ද්වය හා යුක්තවූවන් හා සමාන යැ. ක්‍රියා මනෝවිඤ්ඤාණ ධාතු (මනොද්වාරාවජ්ජන හසිතුප්පාද) දෙකෙහි වීර්‍ය්‍යය අධික යැ. වීර්‍ය්‍යය යුක්ත හෙයින් බලවත් බවට පැමිණියේ සමාධිය වේ. මේයැ මෙහි වෙනස.

 

සහේතුක ක්‍රියා විඤ්ඤාණ සම්ප්‍ර‍යුක්ත වූ සංස්කාරයෝ සහේතුකයෝ යි. ඔවුනතුරින් අට වැදෑරුම් ක්‍රිය විඤ්ඤාණ සම්ප්‍ර‍යුක්ත වූවෝ, විරති තුන හැර අට කාමාවචර කුශල සම්ප්‍ර‍යුක්ත වූ කුශල සංස්කාරයන් හා සමානයෝයි.

 

රූපාවචර - අරූපාවචර ක්‍රියා සම්ප්‍ර‍යුක්ත වූවෝ වනාහි, සර්‍වප්‍ර‍කාරයෙන් ඔවුන්ගේ කුශල විඥාන සම්ප්‍ර‍යුක්ත වූවන් හා සමානය හ, යි මෙසේ අව්‍යාකෘත සංස්කාරය ද දතයුතු.

 


මේ සංස්කාරස්කන්‍ධයෙහි විස්තර කථාවයි.

 

මේ අභිධර්‍මභාජනියෙහි ආසේ ය.

 

භාග්‍යවතුන් වහන්සේ, “යංකිඤ්චිරූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ඣත්තංවා, බහිද්ධාවා, ඔළාරිකංවා, සුඛුමංවා, හීනංවා, පණිතංවා, යංදූරෙ, සන්තිකෙවා, තදෙකජ්ඣං අභිසඤ්ඤුහිත්‍වා අභිසඞ්ඛිපිත්‍වා අයංවුච්චති රූපක්ඛන්‍ධො.[491] යාකාචි වෙදනා[492] යාකාචි සඤ්ඤා[493] යංකිඤ්චි විඤ්ඤාණං, අතීතානාගත පච්චුප්පන්නං -පෙ- අභිසඞ්ඛිපිත්‍වා අයංවුච්චති විඤ්ඤාණක්ඛන්‍ධො[494] යි.

 

‘අනාදිමත් අතීත භවයෙහි පැවැත්තාවූ ද, අනාගතයෙහි ඇතිවන්නා වූ ද, දැන් පවත්නා ආත්ම භවයෙහිවූ ද, තමා අභ්‍යන්තරයෙහි වූ ද, ඉන් පිටත් පරසන්තානයෙහි පවත්නාවූ ද, ඕලාරිකවූ ද, සූක්‍ෂ්මවූ ද, ලාමක වූ ද, ප්‍ර‍ණීත වූ ද, දුර පිහිටියා වූ ද, ළඟ පිහිටියා වූ ද,  යම් රූපයෙක් වේ නම් ඒ සියලුම එකොළොස් වැදෑරුම් රූපය එක්රැස් කොට (එක් සංක්‍ෂෙපයක් කොට) මේ රූපස්කන්ධය යි කියනු ලැබේ. මේ ක්‍ර‍මයෙන් ‘අතීතාදි යම්කිසි වේදනාවෙක් වේ ද, යම්කිසි සංඥාවෙක් - යම්කිසි සංස්කාරයෙක් යම්කිසි විඥානයෙක් වේද, අතීතවූ ද, අනාගත වූ ද, ප්‍ර‍ත්‍යුත්පන්න වූ ද, ඒ සියල්ල එක්කොට -පෙ- විඥානස්කන්ධය යි කියනු ලැබේ යයි’ මෙසේ විස්තර කළ සේක.

 

ඒ විභඞ්ග පාඨයෙහි,

 

යංකිඤ්චි’ යනු නිරවශේෂ වශයෙන් ගැනීම සඳහා යි. රූපං යනු රූපය හැර අන්‍ය අර්‍ථයක පැමිණීම වැළැක්වීම සඳහා යි.

 

මේ පද දෙකින් අටවිසි (28) රූපයාගේම අවිශේෂයෙන් ගැන්ම වේ. නැවත ඒ රූපයා ගේ විභාගය ආරම්භ කෙරෙති.

 

එහි ඇතැම් රූප කෙනෙක් අතීතය . ඇතැම් රූප කෙනෙක් අනාගතාදි භේදයහයි කියායි. වේදනාදියෙහි ද මේ ක්‍ර‍මය මැයි.

 

එහි රූපය අධ්ව අතීතය, සන්තති අතීතය, සමය අතීතය, ක්‍ෂණ අතීතය යි මොවුන් ගේ වශයෙන් සිව්වැදෑරුම් වේ.

 

අනාගත - පච්චුප්පන්න රූප ද එසේම සතර - සතර ආකාරයි.

 

එහි අධ්ව වශයෙන් නම් එක් එක් සත්ත්‍වයකු ගේ එක් භවයෙක්හි ප්‍ර‍තිසන්ධියෙන් පූර්‍වභාගයෙහි අතීත යි. චුතියෙන් මත්තෙහි අනාගතයි. ඒ දෙක අතරැ පච්චුප්පන්නයි.

 

සන්තති වශයෙන් (පූර්‍ව-පශ්චිම පරම්පරා වශයෙන් ශීත වශයෙන් හෝ, උෂ්ණ වශයෙන් සභාග වූයේ සභාග සෘතුවයි.) ඒ සභාග (එක මැ) සෘතුවෙක්හි හටගත් රූපය ද, එකමැ අහාරයෙන් සමුට්ඨාන රූපය ද, පූර්‍වාපරිය වශයෙන් පවත්නේ ද, පච්චුප්පන්නයි. ඉන් පෙර විසභාග සෘතු ආහාර සමුට්ඨාන වූයේ අතීතයි. ඉන්පසුව වූයේ අනාගත යි.

 

චිත්තජය ද, එකමැ වීථියෙහි හෝ, එකමැ ජවනයෙහි හෝ, එක මැ සමාපත්තියෙහි හෝ හටගත්තේ පච්චුප්පන්නයි. ඉන් පෙර හටගත්තේ අතීතයි. ඉන්පසුවැ හටගන්නේ අනාගතයි.

 

කම්මසමුට්ඨාන රූපයා ගේ වෙනම පරම්පරා වශයෙන් අතීතාදි භේදයෙක් නැත්තේ ය.

 

සෘතු-ආහාර-සමුට්ඨානයන්ගේ ද, චිත්ත සමුට්ඨාන රූපයන්ගේ ද උපස්ථම්භක වශයෙන් කම්මසමුට්ඨාන රූපයා ගේ අතීතාදි භාවය දතයුතු යැ.

 

සමය වශයෙන් වනාහි එකම මොහොතය, පූර්‍වාහ්නය, අපරාග්නිය, රාත්‍රියය, දවාලය යනාදි කාලය්නහි පරම්පරා වශයෙන් පවත්නා ඒ එ සමයය පච්චුප්පන්න නම් වේ.

 

ඉන් පෙර අතීතයැ පසුව අනාගතයි.

 

ක්‍ෂණ වශයෙන් උත්පාදාදි ක්‍ෂණ ත්‍ර‍යයට ඇතුළත් වූයේ ඛණපච්චුප්පන්න නම. ඉන් පෙරැ අතීතයැ. පසුව අනාගතයි.

 

තවද අතික්‍රාන්ත හේතු කෘත්‍යය හා ප්‍ර‍ත්‍යය කෘත්‍යය ඇත්තේ අතීත යැ. නිම වූ හේතු කෘත්‍යය හා, නො නිමි ප්‍ර‍ත්‍යය කෘත්‍යය ඇත්තේ පච්චුප්පන්න යැ. හේතු ප්‍ර‍ත්‍යය කෘත්‍යය දෙකම නො පැමිණියේ අනාගතයි. නොහොත් ස්වකීය කෘතක්‍ෂණයෙහි වූයේ පච්චුප්පන්න යැ. ඉන් පූර්‍වයෙහි අතීත යැ. පසුව වූයේ අනාගතයි. මේ අතීතක්‍රිකයෙහි ක්‍ෂණ කථාව නිෂ්පර්‍ය්‍යාය යැ. (ප්‍ර‍ධාන යැ.) මොවුන් කෙරෙන් අන්‍ය වූ අද්ධාසන්තති ආදි කථාව පර්‍ය්‍යාය යැ. (අප්‍ර‍ධාන යැ)

 

අධ්‍යාත්ම - බාහිර භේදය යට කී ක්‍ර‍මය මැයි. මෙහි වූ කලී ස්වසන්තානය ම අධ්‍යාත්මය, පරසන්තානය, බහිද්ධාය යි දතයුතු.

 

ඕළාරික - සුඛුම භේදය කී ක්‍ර‍මය මැයි.

 

හීන-ප්‍ර‍ණීත භේදය, පර්‍ය්‍යාය නිෂ්පර්‍ය්‍යාය වශයෙන් විවිධ යැ. එහි අකනිට්ඨකයන් ගේ රූපයට වඩා සුදස්සීන් ගේ රූපය, හීනය. ඒ සුදුස්සන් ගේ රූපයට වඩා ප්‍ර‍ණීත යැ. මෙසේ යම්තාක් තිරිසනුන් ගේ රූපය තෙක් පර්‍ය්‍යාය වශයෙන් හීනප්‍ර‍ණීත බව දතයුතු.

 

නිෂ්පර්‍ය්‍යාය වශයෙන් වනාහි යම් තැනෙක අකුශල විපාකය උපදී නම් එය හින යැ. යම් තැනෙක කුශල විපාකය උපදී නම් එය ප්‍ර‍ණීත යි. දුරෙ-සන්තිකෙ, යනු ද කී පරිදිම ය.

 

එතෙකුත් වුත් අවකාශ වශයෙන් ඒ ඒ කාරණයෙන් ගෙන මෙහි දුර-සන්තික භාවය දත යුතුය. ශ්‍ර‍වණූපචාරය වූ දොළොස් (12) රියනක් ඇතුළත වූවහු ගේ රූපය සන්තිකෙ රූපය ඉන් බැහැර වූයේ දූරෙ රූපය යනාදි විසිනි.

 

තදෙකජ්ඣං අභිසඤ්ඤුහිත්‍වා අභිසඞ්ඛිපිත්‍වා - ඒ අතීතාදි භේදයෙන් වෙන වෙනම දැක්වූ රූපය රූප්පන ලක්ඛණ සඞ්ඛ්‍යාත ඒකවිධ භාවයෙන් ප්‍ර‍ඥාවෙන් රැස්කොට සංක්‍ෂේපකොට ද රූපස්කන්ධය යි කියනු ලැබේ, යනු අර්‍ථයි. මින් සියලු රූපය රුප්පන ලක්‍ෂණයෙහි පිඩුවීමට පැමිණීමෙන් රූපස්කන්ධය යි දක්වන ලදි. ‘රූපයෙන් බැහැර රූපස්කන්ධයක් නැතැ යි’ මින් දැක්වූයේ වෙයි. රූපයමෙන් වේදනාදියද, වේදයිත ලක්‍ෂණාදීන්හි රාසිභාවයට යෑමෙන් වේදනාස්කන්‍ධාදීහු වෙති. වේදනාදියෙන් බැහැර, වේදනාස්කන්‍ධාදියෙක් කැලම නැති.

 

අතීතාදි විභාගයෙහි ලා (මෙහි ද) සන්තති ඛණාදීන් ගේ වශයෙන් වේදනාවන්ගේ ද, අතීතානාගත පච්චුප්පන්න භාවය දතයුතු යි.

 

එහි සන්තති වශයෙන් එක මැ වීථියෙහි ද, එකම ජවනයෙහි ද, එකමැ සමාපත්තියෙහි ද, ඇතුළත් වූයේ ද, එකම විෂයයෙහි යෙදීමෙන් පැවැත්තේ පච්චුප්පන්න යැ. ඉන් පෙර වූයේ අතීතය, පසුව වූයේ අනාගතයි.

 

අධ්‍යාත්ම බාහිර භේදය නියකජ්ඣත්ත වශයෙන් දතයුතු ය.

 

ඔළාරික - සුඛුම භේදය :- ‘අකුශල වේදනාව ඖදාරික යැ. කුශල-අව්‍යාකෘත වේදනාව සුඛුම යැ.’[495] යනාදි ක්‍ර‍මයෙන් විභඞ්ගයෙහි කීසේ, ජාති-ස්වභාව-පුද්ගල - ලෞකික - ලෝකෝත්තර වශයෙන් දත යුතු ය.

 

ජාති වශයෙන් :- අකුශල වේදනාව ප්‍රාණඝාතාදි සාවද්‍ය ක්‍රියාවනට හේතුවන බැවින් හා, ක්ලේශ වශයෙන් ද වන හෙයින් නොසන්සුන් පැවැතුම් ඇත්නුයි කුශල වේදනාවට වඩා ඖදාරික යැ. කායකර්‍මාදි ව්‍යාපාර සහිත බැවින් ද, උත්සාහ සහිත බැවින් ද, විපාක සහිත බැවින් ද, ක්ලේශ සන්ත්‍රාස ඇති බැවින් ද, වරද සහිත බැවින් ද, විපාක අව්‍යාකෘතයනට වඩා අකුශල වේදනාව ඖදාරිකයැ. විපාක සහිත බැවින් ද, ක්ලේශ සන්තාපයෙන් තැවෙන හෙයින් ද, දුක් සහිත බැවින් ද, සාවද්‍ය බැවින් ද, ක්‍රියා අව්‍යාකෘථයනට වඩා ඖදාරික යි.

 

කුශල වේදනා හා අව්‍යාකෘත වේදනාවෝ, කියන ලද ක්‍ර‍මයට විපරීත වශයෙන් අකුශල වේදනාවට වඩා සියුම් වෙති. කුශල-අකුශල වේදනා දෙකම ව්‍යාපාර සහිත බැවින් ද, උත්සාහ සහිත බැවින් ද, විපාක සහිත බැවින්දැයි යෙදෙන යෙදෙන පරිද්දෙන් විපාක-ක්‍රියා වශයෙන් ද්විප්‍ර‍කාර වූ අව්‍යාකෘත වේදනාවට වඩා ඖදාරික යැ.

 

කියන ලද ක්‍ර‍මයට විපරීත වශයෙන් දෙවැදෑරුම් වූ ද, අව්‍යාකෘත වේදනාව කුශලාකුශල වේදනාවට වඩා සියුම් යැ.

 

මෙසේ පළමුව ජාති වශයෙන් ඖදාරික - සූක්‍ෂ්ම භාවය දත යුතු ය.

 

තවද, ස්වභාව ලක්‍ෂණ වශයෙන් දුක්ඛවේදනාව, ආස්වාද කටයුතු ස්වභාවයක් නැති හෙයින් ද, ආස්වාදනය කටයුතු සැපත ප්‍ර‍හාණය කිරීම් වශයෙන් චඤ්චල වීම් සහිත බැවින් ද, කළඹන හෙයින් ද, කලකිරීම් සහිත බැවින් ද, මැඩ පවත්වන හෙයින් ද, සුඛ-උපෙක්ඛා වේදනාවනට වඩා ඖදාරික යැ. ඒ දුඃඛ වේදනාවෙන් අන්‍ය වූ සුඛ-උපෙක්ඛා වේදනාවනට වඩා ඖදාරික යැ. ඒ දුඃඛ වේදනාවෙන් අන්‍ය වූ සුඛ-උපෙක්ඛා වේදනාවෝ මිහිරි බැවින් ද, සන්හුන් බැවින් ද, ප්‍ර‍ණීත බැවින් ද මන වඩන හෙයින් ද, මධ්‍යස්ථ බැවින් ද, සුදුසු පරිද්දෙන් දුක් වේදනාවට වඩා සූක්ෂම වන්නාහ.

 

සුඛ-දුඃඛ වේදනා දෙක වනාහි පැතිරීම් සහිත බැවින් ද, කැළඹීම් කරන හෙයින් ද, ප්‍ර‍කට බැවින් ද, උපේක්‍ෂා වේදනාවට වඩා ඖදාරික යැ. ඒ අදුඃඛමසුඛ් වේදනාව කියන ලද ක්‍ර‍මයට විපරීත වශයෙන් ඒ සුඛ-දුඃඛ වේදනාවන්ට වඩා සූක්ෂම යැ. මෙසේ ස්වභාව වශයෙන් ඖදාරික බව හා සූක්‍ෂ්ම බව දතයුතු යැ.

 

පුද්ගලයන් ගේ වශයෙන් :- සමාපත්තිය නො සමවන්නහු ගේ වේදනාව සමවන්නහු ගේ වේදනාවට වඩා ඖදාරික යැ. (නොයෙක් අරමුණෙහි වික්‍ෂිප්තව පවත්නා හෙයිනි.) එයට විපරීත හෙයින් නො සමවන්නහු ගේ වේදනාවට වඩා සමවන්නහුගේ වේදනාව සූක්‍ෂ්ම යැ. මෙසේ පුද්ගල වශයෙන් ඖදාරික සූක්‍ෂ්ම භාවය දත යුතු යැ. මෙයින් මැ භූමි වශයෙන් ද ඖදාරික සූක්‍ෂ්ම භාවය ගැනේ. සමවන්-නොසමවන්හු ගේ ගැනීමෙනි.

 

ලෞකික - ලෝකෝත්තර වශයෙන් වනාහි, ආශ්‍ර‍වයනට අරමුණු වන්නාවූ වේදනාව ලෞකික යි. එය ආශ්‍ර‍ව ඉපදීමට හේතු බැවින් ද, ඕඝයනට අරමුණු වන බැවින් ද, යෝගයනට අරමුණු වන බැවින් ද, ග්‍ර‍න්‍ථයනට ආලම්බන වන හෙයින් ද, නීවරණයනට ආලම්බන වන හෙයින් ද, උපාදානයනට ආලම්බන වන හෙයින් ද, ක්ලේශධර්‍මයන් ගේ උත්පත්තියට සුදුසු වන හෙයින් ද, පෘථග්ජනයනට සාධාරණ හෙයින් ද, අනාසව වේදනාවට වඩා ඖදාරික යි. (අනාසව නම් ලෝකෝත්තර යැ.) ඒ අනාශ්‍ර‍ව වේදනාව ඊට විපර්‍ය්‍යාශ හෙයින් සූක්‍ෂ්ම වේ. මෙහි ජාති ආදීන් ගේ වශයෙන් මිශ්‍ර‍ බව දුරුකළ යුතු යැ.

 

කවරහෙයින්ද යත් :- අකුසල විපාක කායවිඤ්ඤාණය හා සම්ප්‍ර‍යුක්ත වේදනාව අව්‍යාකෘත වන බැවින් ජාති වශයෙන් සූක්‍ෂ්ම වුව ද, ස්වභාවාදි වශයෙන් ඖදාරික වන හෙයිනි.

 

එයින් වදාළහ. “අඛ්‍යාකතා වෙදනා සුඛුමා, දුක්ඛ වෙදනා ඔළාරිකා, - අසමාපන්තස්ස වෙදනා ඔළාරිකා සමාපත්තස්ස වෙදනා සුඛුමා, අනාසවා වෙදනා සුඛුමා, සාසවා වෙදනා ඔළාරිකා”[496] යි.

 

‘අව්‍යාකෘත වේදනාව සූක්‍ෂ්ම යැ. දුක්ඛ වේදනාව ඖදාරික යැ. අසමාපන්නහු ගේ වේදනාව ඖදාරික යැ. ධ්‍යානයට සමවන්නහු ගේ වේදනාව සූක්‍ෂ්ම යැ. අනාශ්‍ර‍ව වේදනාව සූක්‍ෂ්ම යැ. ආශ්‍ර‍ව සහිත වේදනාව ඖදාරික යි’ මෙසේමැ (දුඃඛ වේදනාව මෙන්) සුඛ වේදනාදියද ජාති වශයෙන් ඖදාරික යි. ස්වභාවාදීන් ගේ වශයෙන් සූක්‍ෂ්ම යි. එහෙයින් යම් යම් ආකාරයෙකින් ජාති ආදි වශයෙන් වේදනාව මිශ්‍ර‍ නොවේ නම් ඒ ඒ ආකාරයෙන් වේදනා ඖදාරික සූක්‍ෂ්ම භේදය දතයුතුයි.

 

ඒ මෙසේයි:- කුශලත්‍රිකයෙහි ස්වභාවාදිය අපේක්ෂා නො කොට ජාති වශයෙන් ද, වේදනා ත්‍රිකයෙහි ජාත්‍යාදිය අපේක්‍ෂා නො කොට ස්වභාව වශයෙන් ද යනාදි ක්‍ර‍මයෙන් ඖදාරික සූක්‍ෂ්ම බව කී කල සංකර නො වන බව මෙයින් කීයේ වෙයි.

 

අව්‍යාකෘත වේදනාව ජාති වශයෙන් කුශල-අකුශල වේදනාවට වඩා සියුම් වේ, යනාදි මේ පෙර කී පාඨයෙහි, අව්‍යාකෘත වේදනා කිම? දුඃඛ වේදනා කි? සුඛ වේදනා කිම? නො සමවන්නහු ගේ වේදනා කිම? සමවන්නහුගේ වේදනා කිම? ආශ්‍ර‍ව සහිත වේදනා කිම? අනාශ්‍ර‍ව වේදනා කිමැ යි මෙසේ ජාතිවශයෙන් සූක්‍ෂ්ම වූ අව්‍යාකෘත වේදනාව පුද්ගල ලෞකික වශයෙන් පරාමර්‍ෂනය නො කට යුතුය. මින් ජාති - පුද්ගල-ස්වභාව ලෞකික වශයෙන් පැවැති සිව් කොටස ඔවුනොවුන් අමිශ්‍ර‍ව ගත යුතු යි. මේ ක්‍ර‍මයෙන් මිශ්‍ර‍වීම දුරු වන්නේ ය. අන් පරිද්දකින් නොවේ. සියලු තන්හි මේ ක්‍ර‍මය යැ. අව්‍යාකෘත මුඛයෙන් දැක්වූවක් මෙන්, කුශලා‘කුශල මුඛයෙන් ද, ජාති මුඛයෙන් දැක්වූ සේ ස්වභාවාදි මුඛයෙන් ද, දැක්විය යුතු බව් මේ කී නියායි.)

 

තවද, “තංතංවාපන වෙදනං උපාදායුපාදාය වෙදනා ඔළාරික සුඛුමා දට්ඨබ්බා[497] ඒ ඒ වේදනා හේතුවෙන් වේදනාව ඖදාරික - සූක්‍ෂ්ම බව දත යුත්තීය’යි වදාළ හෙයින් අකුශලාදියෙහිද, ලෝභ සහගත වේදනාවට වඩා, දෝස සහගත වේදනාව ඖදාරික - සූක්‍ෂ්ම බව දත යුත්තීය’යි වදාළ හෙයින් අකුශලාදියෙහිද, ලෝභ සහගත වේදනාවට වඩා, දෝස සහගත වේදනාව ඖදාරික යැ. (ගින්න තමා ආශ්‍ර‍ය වූ දාරුස්කන්ධාදිය ද දවන්නා සේ ද්වේෂය තමා නිශ්‍ර‍ය වූ හෘදය වස්තුව දවන හෙයිනි.) දෝස සහගත වේදනාවට වඩා, ලෝභ සහගත වේදනාව සුඛුමයි. දෝස සහගතයන් අතුරිනුදු ආනන්තරිය භාවයට පැමිණි නියත වේදනාව ඖදාරික යැ. අනියතය සුඛුම යි. නියතයන් අතුරිනුදු කල්පස්ථායි වූවා ඖදාරික යැ. සෙසු වේදනාව සුඛුම යි. කල්පස්ථායි වූවන් අතුරිනුදු අසඞ්ඛාරික වේදනාව ඕළාරික යැ. සසඞ්ඛාරිකය සුඛුම යි.

 

ලෝභ සහගත වේදනාවන් අතුරිනුදු දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත වේදනාව ඖදාරික යැ. දෘෂ්ටි විප්‍ර‍යුක්තවූවා සුඛුම යි. ඒ දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත වේදනා අතුරිනුදු ආනන්තරිය වූවා ඖදාරික යැ. ඉනුදු කල්පස්ථායි වූවා ඖදාරික යැ. ඉනුදු අසඞ්ඛාරික වූවා ඖදාරික යැ. සෙසු ආනන්තරිය නොවූ, කල්පස්ථායි නොවූ, සසඞ්ඛාරිකය සුඛුම යි.

 

සාමාන්‍යයෙන් බොහෝ විපාක ඇති අකුශලය මහා සාවද්‍ය බැවින් ඖදාරික යැ. ස්වල්ප විපාක ඇත්තේ අල්පසාවද්‍ය බැවින් සුඛුම යි. අල්ප විපාක කුශලය ඖදාරික යැ. බහු විපාක කුශලය සුඛුම යි.

 

තවද කාමාවචර කුශලය ඖදාරික යැ. රූපාවචර කුශලය සුඛුම යැ. ඉනුදු අරූපාවචර කුශලය සුඛුම යැ. ඉනුදු ලෝකෝත්තර කුශලය සුඛුම යි. කාමාවචරයන් අතුරිනුදු දානමය කුශලය ඖදාරික යැ. ශීලමය කුශලය සුඛුම යැ. භාවනාමය කුශලය ද සුඛුම යි. ඉනුදු දුහේතුකය ඖදාරික යැ. ත්‍රිහේතුකය සුඛුම යි. ත්‍රිහේතුකයෙනුදු සසඞ්ඛාරිකය ඖදාරික යැ. අසඞ්ඛාරිකය සුඛුම යි. රූපාවචරයන් ගෙනුදු ප්‍ර‍ථම ධ්‍යානිකය ඖදාරික යැ. -පෙ- පඤ්චමධ්‍යානික වේදනාව සුඛුම යි. අරූපාවචර යෙනුදු ආකාසානඤ්චායතනික වේදනාව ඖදාරික යැ. - පෙ - නෙවසඤ්ඤානාසඤ්ඤායතන සම්ප්‍ර‍යුක්ත වේදනාව සුඛුම යි.

 

ලෝකෝත්තර වූ, සෝතාපත්ති මග්ග සම්පයුත්ත වේදනාව ඖදාරික යැ. -පෙ- අර්‍හත් මාර්‍ග සම්ප්‍ර‍යුක්ත වූවා සුඛුම යි. ඒ ඒ භූමියෙහි වූ විපාක ක්‍රියා වේදනාවන් ගේ ද, සුඛ-දුඃඛාදි වේදනාවන්ගේ ද, අසමාපන්නාදි වේදනාවන්ගේ ද, සාශ්‍ර‍වාදි වූ වේදනාවන්ගේ ද, වශයෙන් කියන ලද වේදනාවන්ගේ ද, මේ ක්‍ර‍මයමැයි.

 

අවකාශ වශයෙන් නරකයෙහි වේදනාව ඖදාරික යැ. තිරිසන් අපායෙහි සුඛුම යැ. -පෙ- පරනිර්මිත වශවර්තියෙහි එයට වඩා සුඛුම යි. මෙසේ දුඃඛ වේදනාව මෙන් සුඛ වේදනාව ද එසේ ම සියලු භූමියෙහි සුදුසු පරිදි යෙදිය යුතුයි. චක්‍ෂුරාදි වස්තු වශයෙන් ද, හීන ප්‍ර‍ණීත බව දත යුතු ය. ලාමක වස්තුවක් අරමුණුකොට පවත්නා වේදනාව ඖදරික යැ. ප්‍ර‍ණිත වස්තුව වේදනාව සුඛුම යි. හීන-ප්‍ර‍ණීත භේදයෙහි වනාහි යම් වේදනාවක් ඖදාරික ද, ඒ හීනයැ. යමක් සූක්‍ෂ්ම ද, ඒ ප්‍ර‍ණීතය යි දත යුතුයි.

 

දුර පදයෙහි වනාහි අකුශල වේදනාව, කුශල අව්‍යාකෘත වේදනාවට දුරෙහි යැ. සන්තික පදයෙහි අකුශල වේදනාව, අකුශල වේදනාව හා සමීපවේය යි, යනාදි ක්‍ර‍මයෙන් විභඞ්ගයෙහි[498] බෙදන ලදී.

 

එහෙයින් අකුශල වේදනාව විසභාග වශයෙන් ද, අසම්මිශ්‍ර‍ බැවින් ද, අසදෘශ බැවින් ද, කුශල-අව්‍යාකෘතයන් කෙරෙන් දුර වේ. එසේ මැ කුශල අව්‍යාකෘතයෝ, අකුශලයන් කෙරෙන් දුරවෙති. සියලු ද්වාරයන්හි ද මේ ක්‍ර‍මය මැයි. අකුශල වේදනාව සභාග වශයෙන් ද, සදෘශ වශයෙන් ද, අකුශල වේදනාවට සමීපවේය යි දතයුතු.

 

මේ වේදනාස්කන්ධයෙහි අතීතාදි විභාගයෙහි විස්තර කථාවයි.

 

ඒ ඒ වේදනාදිය හා සම්ප්‍ර‍යුක්ත වූ සංඥාදීන්ගේ ද විභාගය මෙසේම දත යුතුයි. එසේ දැන නැවත ඒ පඤ්චස්කන්ධයෙහි මැ මනාව දැනීම පිණිස (1) ක්‍ර‍ම වශයෙන් ද, (2) භේද වශයෙන් ද, (3) අනූනඅනධික වශයෙන් ද, (4) උපමා වශයෙන් ද, (5) දෙපරිද්දෙකින් බැලිය යුතු බැවින් ද, (6) බලන්නහුට අභිමතාර්‍ථ සද්ධි වශයෙන් ද, විනිශ්චය ක්‍ර‍මය දතයුතුයි.

 

(1) ක්‍ර‍ම වශයෙන් :- මෙහි ක්‍ර‍මය වනාහි උත්පත්තික්‍ර‍මය, ප්‍ර‍හාණ ක්‍ර‍මය, ප්‍ර‍තිපත්ති ක්‍ර‍මය, භූමි ක්‍ර‍මය, දේශනාක්‍ර‍ම යැයි බොහෝ ආකාරයි. “පඨමංකලලංහොති[499] ‘ප්‍ර‍ථම කොට කලල රූපය වේ.’ යනාදීන් උත්පත්ති ක්‍ර‍මය වේ. ‘දර්‍ශනයෙන් ප්‍ර‍භාතව්‍ය ධර්‍මය, භාවනාවෙන් ප්‍ර‍භාතව්‍ය ධර්‍මය, යනාදීන් ප්‍ර‍හාණ ක්‍ර‍මය ද, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදීන් ප්‍ර‍තිපත්ති ක්‍ර‍මය ද, කාමාවචරය, රූපාවචරය යනාදීන් භූමි ක්‍ර‍මය ද, සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍ර‍ධානය යනාදීන් හෝ, දාන කථා, ශීල කථා යනාදීන් හෝ, දේශනා ක්‍ර‍මය ද වේ.

 

විශේෂ :- මොවුනතුරින් මෙහිලා උත්පත්තික්‍ර‍මය නොයෙදේ. කලලාදීන් ගේ මෙන් ස්කන්ධාදීන් ගේ, පෙර පසුවීම වශයෙන් විභාගයක් නො වන හෙයිනි.

 

ප්‍ර‍හාණ ක්‍ර‍මය ද නො යෙදේ. කුශල-අ්‍යාකෘතයන් ප්‍ර‍භාතව්‍ය නො වන හෙයිනි.

 

ප්‍ර‍තිපත්ති ක්‍ර‍මය ද නො යෙදේ. අකුශලයන් පිළිපැදිය යුතු නො වන හෙයිනි.

 

භූමි ක්‍ර‍මය ද, නො යෙදේ. වේදනාදිය සිවු භූමියෙහි මැ යෙදෙන හෙයිනි.

 

මෙහිලා දේශන ක්‍ර‍මය යෙදේ.

 

රූපාදීන් විභාග නො කොට රූපාදි පඤ්චස්කන්ධයෙහි ආත්ම දෘෂ්ටි වශයෙන් වරදවා ගත් වෛනෙයජනයා, රූප-නාම-සමූහයෙහි ඒක ඝනවූ ධර්‍ම සමූහය බෙදා දැක්වීමෙන් ආත්ම වශයෙන් ගැනීමෙන් මුදනු කැමති භාග්‍යවතුන් වහන්සේ හිත කැමති වැ, ඒ ඒ ජනයන්ට වටහා ගැනීමේ පහසුව පිණිස, චක්‍ෂුරාදියට ද විෂය වූ ඖදාරික රූපස්කන්ධය පළමු වදාළ සේක.

 

අනතුරුවැ ඉෂ්ට-අනිෂ්ට රූපාලම්බන රසය අනුභව කරන වේදනාව වදාළ සේක.

 

විඳින්නා වූ ඒ වේදනා ආකාරය ගැනීමෙන් හැඳිනගත්තාක් වැනි වූ සංඥාව වදාළ සේක.

 

අනතුරුවැ සංඥා වශයෙන් සකස් කරන්නා වූ සංස්කාර වදාළ සේක.

 

ඒ වේදනාදීන් ගේ නිශ්‍ර‍ය වූ, වේදනාදියට අධිපති වූ විඥානය එයට අනතුරුවැ වදාළ සේක.

 

මේ ක්‍ර‍ම වශයෙන් විනිශ්චය යි.

 

(2) භේද වශයෙන් :- ස්කන්ධයන්ගේ ද, උපාදාන ස්කන්ධයන්ගේ ද භෙදයෙකි.

ඒ දෙකෙහි වෙනස කිම? පළමුකොට පඤ්චස්කන්ධය අවිශෙෂයෙන් (සාමාන්‍යයෙන්) වදාරන ලදී. උපාදානස්කන්ධයෝ චතුරාශ්‍ර‍වයන් හා, චතුරුපාදානයන්ට අරමුණු වශයෙන් වෙසෙසා වදාරන ලදහ.

 

“පඤ්චෙව වො භික්ඛවෙ ඛන්‍ධෙ දෙසිස්සාමි. පඤ්චචූ-පාදානකඛන්‍ධෙ, තංසුණාථ -පෙ- කතමෙව භික්ඛවෙ පඤ්චක්ඛන්‍ධා, යංකිඤචි භික්ඛවෙ රූපං අතීතානාගත පච්චුප්පන්නං -පෙ- සන්තිකෙවා, අයංවුච්චති භික්ඛවෙ රූපක්ඛන්‍ධො. යාකාචි වෙදනා -පෙ- යංකිඤ්චි විඤ්ඤාණං -පෙ- සන්තිකෙවා, අයංවුච්චති භික්ඛවෙ විඤ්ඤාණක්ඛන්‍ධො, ඉමෙවුච්චනති භික්ඛවෙ පඤ්චක්ඛන්‍ධා.

 

කතමෙව භික්ඛවෙ පඤ්චුපාදානක්ඛන්‍ධා, යංකිඤ්චිභික්ඛවෙ රූපං -පෙ- සන්තිකෙවා, සාසවං, උපාදානීය, අයංවුච්චති භික්ඛවෙ රූපුපාදානක්ඛන්‍ධො. යාකාචිවෙදනා -පෙ- යංකිඤ්චි විඤ්ඤාණං -පෙ- සන්තිකෙවා, සාසවං උපාදානියං අයංවුච්චති භික්ඛවෙ විඤ්ඤාණුපාදානක්ඛන්‍ධො, ඉමෙවුච්චන්ති භික්ඛවෙ පඤ්චුපාදානක්ඛන්‍ධා’යි[500]

 

‘මහණෙනි! ස්කන්‍ධ පසක් හා, උපාදානස්කන්‍ධ පසක් දේශනා කරමි. එය මනාව අසවු මහණෙනි! ඒ පඤ්චස්කන්ධ කවරේ ද? අතීත-අනාගත-වර්‍තමාන වූ; ඖදාරික වූ හෝ සූක්‍ෂ්ම වූ; අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ, දුර හෝ ළඟ වූ; යම් රූප කෙනේක වෙද්ද, ඒ එකොළොස් ආකාර වූ සියල්ල විකාර වීම හා විනාශවීම ලක්‍ෂණ කොට ඇති බැවින්, රූපස්කන්ධ යයි කියනු ලැබේ. යම්කිසි වේදනාවක් -පෙ- යම්කිසි විඥානයක් වේ ද, ඒ සියලු විඤ්ඤාණය විඤ්ඤාණස්කන්ධ යයි කියනු ලැබේ. මහණෙනි! මේ පඤ්චස්කන්ධය යි කියනු ලැබේ.

 

මහණෙනි! පඤ්චාපාදානස්කන්ධය කවරේද? මහණෙනි! (යට කීසේ) එකොළොස් අවස්ථාහි වූ යම් රූපයක් වේ නම්, කාම-භව-දිට්ඨි-අවිජ්ජා යන සතර ආශ්‍ර‍වයන්ට හා, කාම දිට්ඨි සීලබ්බත-අත්තවාද යන සතර උපාදානයන්ට ද අරමුණු වන්නා වූ ඒ රූපය රූපූපාදානක්ඛන්‍ධ නම. යම්කිසි වේදනාවක් යම්කිසි සංඥාවක්-යම්කිසි සංස්කාරයෙක්-යම්කිසි විඥානයෙක් වේ නම්, ආශ්‍ර‍වයනට හා, උපාදානයනට අරමුණු වූ ඒ විඥානය විඥානෝපාදානස්කන්‍ධය යි කියනු ලැබේ. මහණෙනි! මේයැ පඤ්චාපාදානස්කන්ධය.

 

මේ පෙළෙහි අනාශ්‍ර‍වවූ ම වේදනාදිය ස්කන්‍ධයන්හි ද, සාශ්‍ර‍වවූවාහු ම උපාදානස්කන්‍ධයන්හි ද වදාළහ. රූපය එසේ නො වේ. ඒ වූකලි රාශ්‍යර්‍ථයෙන් ස්කන්‍ධ බව යෙදෙයි. එහෙයින් ස්කන්‍ධයන්හි වදාළහ. යම්හෙයකින් රාශ්‍යර්‍ථයෙන් ද, සාශ්‍ර‍වාර්‍ථයෙන් ද, උපාදානස්කන්‍ධ භාවය යෙදේ ද, එහෙයින් උපාදානස්කන්ධ විෂයයෙහි වදාළහ. අනාශ්‍ර‍ව වූ වේදනාදිය ස්කන්ධයන්හි වදාළහ. සාශ්‍ර‍වයන් උපාදානස්කන්‍ධයන්හි වදාළහ. තවද මෙහි උපාදානයන්ට ගෝචර වූ ස්කන්ධ, උපාදාන ස්කන්‍ධයැ යි මෙසේ මේ අර්‍ථ දතයුතු.

 

මේ විශුද්ධමාර්‍ගයෙහි මේ සියලු ස්කන්‍ධ - උපාදානස්කන්‍ධ එක්කොට ස්කන්ධය යි කියන ලදි. (පඤ්චුපාදානස්කන්‍ධය යි මෙහි වෙනම නොදැක්වේ.)

 

(3) අඩුවැඩි නොවීම් වශයෙන්, බුදුහු අඩු වැඩි නොව ස්කන්ධ පසක් ම වදාළේ කවර හෙයින් ද? සියලු සඞ්ඛත ධර්‍මයන් (කර්‍මාදි ප්‍ර‍ත්‍යයෙන් සකස්වන ධර්‍ම) සදෘශ වශයෙන් එක එක කොටසෙහි සංග්‍ර‍හ කිරීම් වශයෙනි. ආත්ම වශයෙන් හා ආත්මීය (ආත්මය පිළිබඳ) වශයෙන් ගන්නා ලද වස්තූන් මෙතෙක් වන හෙයිනි. අන්‍ය වූ ද ශීලස්කන්‍ධාදිය ද මෙයට ම ඇතුළත් වේ.

 

විස්තර :- නොයෙක් ප්‍රභේදවත් වූ සඞ්ඛත ධර්‍මයන් සභාග වශයෙන් සංග්‍ර‍හ කරන ලද විකාරවීම, සියලු රූපයන් ගේ එකම (සාමාන්‍ය) ලක්‍ෂණය වශයෙන් ගෙන රූපය එකවට සංග්‍ර‍හ කිරීම් වශයෙන් ඒකස්කන්ධයෙක් (එක් ගොඩෙක්) වේ.

 

අරමුණු රස විඳීම් වශයෙන් සාධාරණ ලක්‍ෂණය ගෙන වේදනාව ද, සභාග සංග්‍ර‍හ වශයෙන් එකස්කන්ධයෙක් වේ. සංඥාදියේ ද, ස්කන්ධභාවය මෙසේ මැයි. එහෙයින් ලක්‍ෂණ වශයෙන් සදෘශ හෙයින් සියලු සඞ්ඛත ධර්‍මයන් සභාග ධර්‍ම වශයෙන් සංග්‍ර‍හ කොට පඤ්චස්කන්‍ධයක් කියන ලදී. ආත්ම-ආත්මීය වශයෙන් ගන්නා වස්තූහු, රූපාදි මේ පඤ්චස්කන්‍ධයට ඇතුළත් වෙත්. මින් පිටත් කිසිවක් නැති.

 

විශේෂ :- මෙහිලා කුශලාකුශල ධර්‍මයන් සංස්කාරණය කිරීම හා උත්සාහවත් කිරීම කෘත්‍යය කොට ඇති හෙයින් චේතනාව ම සංස්කාරස්කන්ධය’යි මුඛ්‍යත්‍වයෙන් අභිප්‍රේත යැ. ඵස්සාදිය ද ඵුසනාදි ලක්‍ෂණයෙන්, කුශලාකුශල ධර්‍මයන් සකස් කිරීමට උපකාර වන හෙයින් එයට (සංස්කාරස්කන්‍ධයට) ම ඇතුළත් වේ.

 

ප්‍ර‍ශ්නයෙකි :- එසේ වන්නා කුමක් හෙයින් වේදනා සංඥා දෙක වෙන මැ ස්කන්ධ දෙකක් සේ වදාරන ලද්දේ ද?

 

(වේදනාදි ස්වභාවයෙන් සංස්කාර ලක්‍ෂණයන් ගෙන සංස්කාර ස්කන්‍ධයෙහි ම කවර හෙයින් ඇතුළත් නො කෙළේ ද)

 

පිළිතුර :- වේදනා - සංඥා චෛතසිකයෝ සංස්කාර වූවාහු ද, ආත්ම-දෘෂ්ටි ආදීන් ගැනීමට වස්තුන් වන හෙයිනි.

 

එයින් වදාළහ :- “රූපෙ ඛොපන භික්ඛවෙ සති රූපං උපාදාය, රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උපපජ්ජති. එතං මම එසොහමස්මි එසා මෙ අත්තාති. වෙදනාය-සඤ්ඤාය-සංඛාරෙසු විඤ්ඤාණෙ සති, විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති. එතං මම එසොහමස්මි එසො මෙ අත්තාති”[501]

 

“මහණෙනි! රූපය ඇතිකල, රූපය නිසා, රූපය වරදවා ගැනීමෙන් ‘මේ රූපය මාගේ යැ’ ‘මේ රූපය මම වෙමි’ මේ රූපය මාගේ ආත්මය වේ’ (රූපයෙහි ආත්මය වේ) යයි විපරිත දෘෂ්ටි උපදී. වේදනා-සංඥා, සංස්කාර-විඥාන යන මොවුන් ඇති කල්හි මොවුන් නිසා, මොවුන් වරදවා ගැනීමෙන් මේ වේදනා සංඥා- සංස්කාර විඥාන ‘මා සතු යැ - මම වෙමි - මාගේ ආත්මය වේය’යි වේදනාදියෙහි ආත්මය යන විපරීත දෘෂ්ටිය උපදී.”

 

මෙසේ මම යැ, මාගේ යැ යි, වරදවා ගැනීමට මේ පඤ්චස්කන්ධය වස්තුවන හෙයින් ද, මේ පඤ්චප්‍ර‍කාරය මැ පරම කොට ඇති හෙයින් ද, පඤ්චස්කන්ධයක් ම වදාළහ. අන්‍ය වූ ශීලස්කන්ධාදි වශයෙන් වදාළ පඤ්චස්කන්ධයෝ, සංස්කාරස්කන්ධයෙහි ඇතුළත් වන හෙයින් පඤ්චස්කන්ධයට ම ඇතුළු වෙති. මෙසේ සෙසු ස්කන්ධයන් ද එහි ම ඇතුළත් හෙයින් පසක් ම වදාළහ.

 

මෙසේ නො අඩු - නො වැඩි වශයෙන් (පඤ්චස්කන්ධය) විනිශ්චය දත යුතුයි.

 

(4) උපමා වශයෙන් :- ගිලනකු වැනි විඥාන උපාදානස්කන්ධයට වස්තු-ද්වාර ආලම්බන වන හෙයින් රූපූපාදානස්කන්ධය ගිලන්හලකට බඳු උපමා ඇත්තේ ය.

 

වේදනා- උපාදානස්කන්ධය ලෙඩකට බඳු උපමා ඇත්තේ ය.

 

(දුක්ඛදුක්ඛය, සංඛාරදුක්ඛය, විපරිණාමදුක්ඛය යන මොවුන් ගේ වශයෙන් හිංසා කරන හෙයිනි.)

 

සංඥා උපාදානස්කන්ධය, කාම සංඥාදී වශයෙන් රාගාදීන් හා සම්ප්‍ර‍යුක්ත වේදනා ඉපදීමට හේතුවන හෙයින් වා, පිත්, සෙම් ආදී රෝග හටගැනීම බඳු ය.

 

සඞ්ඛාරුපාදානස්කන්ධය වේදනා නමැති ගිලන් බවට නිදාන හෙයින් නොසැපදෑ සෙවුමක් බඳු උපමා ඇත්තේ ය. වේදනාව විඳීම් ස්වභාවය පිණිස අභිසංස්කරණය කෙරෙතැයි එහෙයින් කියන ලදී. ඒ මෙසේම, “අකුසලස්ස කම්මස්ස කතන්තා උපචිතත්තා විපාකං කායවිඤ්ඤාණං උපපන්තංහොති දුක්ඛසහගතං”[502] අකුශල කර්‍මය කළහෙයින් රැස්කළ හෙයින්, දුක් සහගත කායවිඤ්ඤාණය උපන්නේ වෙයි.

 

වේදනා සඞ්ඛ්‍යාත රෝගාතුර බැවින් නො මිදුණ හෙයින් විඥානොපාදානස්කන්ධය ගිලනකු බඳු ය.

 

තවද, පඤේචාපාදානස්කන්ධය පිළිවෙළින්, බන්‍ධනාගාරය, දෙතිස් කම්කටොළුය, අපරාධය, වධකය, වධයට සුදුසු පුද්ගලය යන මොවුන්ට බඳු ය. තවද, භාජනය, භෝජනය, ව්‍යඤ්ජනය, වළඳන්නාය, අනුභවකරන්නාය යන මොවුන්ටද බඳු ය. (ඒ සුගමයි)

 

මෙසේ උපමා වශයෙන් විනිශ්චය දතයුතු.

 

(5) දෙපරිද්දකින් දතයුතු බැවින් සංඛේප විස්තර වශයෙන් මේ පඤ්චොපාදානස්කන්‍ධය දෙපරිද්දකින් දතයුතු බැවින් විනිශ්චය දතයුතු.

 

සංඛේප වශයෙන් මේ පඤ්චුපාදානස්කන්‍ධය, ආශිවිෂොපම සූත්‍රයෙහි[503] වදාළ සේ, අමෝරාගත් කඩු ඇති වධකයකු සේද, භාරසූත්‍රාන්ත[504] වශයෙන් මහත් බරක් සෙයින් ද, ඛජ්ජනීය පරියාය[505] වශයෙන් කන්නකු සේ ද, යමකසූත්‍ර‍[506] වශයෙන් අනිත්‍ය-දුඃඛ-අනාත්ම සංඛ්‍යාත වධකයකු සේද දතයුතුය.

 

විස්තර වශයෙන් වනාහි මැඩීම නො ඉවසන හෙයින් රූපස්කන්ධය පෙණපිඩක් සේද, මොහොතක් රමණීය බැවින් වේදනාස්කන්ධය දියබුබුලක් මෙන්ද, වැරදි සේ පොළඹවන හෙයින් සංඥාස්කන්ධය මරීචියක් මෙන්ද, අසාර හෙයින් සංස්කාර ස්කන්ධය කෙසෙල් කඳක් මෙන් ද, වඤ්චාකරන හෙයින් විඥාන ස්කන්ධය මායාවක් මෙන්ද, ගත යුතුයි.

 

විශේෂ වශයෙන් වනාහි මනා රූමත් වූ ද අධ්‍යාත්මික රූපය අශුභ යැයි දතයුතු. වේදනා විවිධ දුඃඛයෙන් නො මිඳුන හෙයින් දුක් යයි ද, සංඥා - සංස්කාර වශයෙහි නො පවත්නා හෙයින් අනාත්මය යි ද, විඤ්ඤාණය ඇතිව නැතිවන ස්වභාව හෙයින් අනිත්‍යය යි ද, දතයුතු.

 

(6) බලන්නහුට අර්‍ථසිද්ධි වශයෙන් මෙසේ සංක්‍ෂේප වශයෙන් ද, විස්තර වශයෙන් ද, දෙපරිද්දෙන් බලන්නා වූ යෝගාවචරයා හට යම් අභිමතාර්‍ථ ලාභයෙක් වේ නම් ඒ වශයෙන් විනිශ්චය දතයුතු.

 

ඒ එසේමැයි:- සංක්‍ෂේප වශයෙන් පඤේචාපාදානස්කන්ධය අමෝරා ගත් කඩුව ඇති වධකයකු සේ බලන්නේ ස්කන්ධයන් කෙරෙන් වෙහෙසට නො පැමිණේ. විස්තර වශයෙන් ස්කන්ධාදිය පෙණපිඬු ආදිය මෙන් දක්නේ අසාර වූ පඤ්චස්කන්ධයෙහි සාර වශයෙන් නො දක්නේ ය. විශේෂයෙන් අධ්‍යාත්ම රූපය අශුභ වශයෙන් දක්නා යෝගාවචරතෙමේ කබලීකාරාහාරය පිරිසිඳ දැනගනී.

 

විස්තර වශයෙන් :- ආහාරසමුදයා රූපසමුදයො ‘ආහාර හටගැනීමෙන් රූප හටගනීය’යි කී හෙයින්, අධ්‍යාත්ම රූපයෙහි ඡන්‍දරාග දුරුකළ හෙයින් එයට හේතු වූ කබලීකාරාහාරයෙහි ද, ඡන්‍දරාගය පහකෙරේ. මේ පහාන පරිඤ්ඤය.

 

අධ්‍යාත්ම රූපය පරිග්‍ර‍හ කරන්නේ, අධ්‍යාත්ම රූපයට හේතු වූ කබලීකාරාහාරය ද, පිරිසිඳ දැනගනී. මේ ඤාතපරිඤ්ඤාය.

 

ඒ අධ්‍යාත්ම රූපයාගේ උත්පාද - භඞ්ගයන් දකින්නේ එයට හේතු වූ කබලීකාරාහාරයා ගේ ද, උත්පාද - භඞ්ග දක්නේ ය. මේ තීරණපරිඤ්ඤාය.

 

මේ ත්‍රිවිධ පරිඥායෙන් යුක්ත වූයේ, අශුභයෙහි ශුභයයි විපල්ලාසය දුරු කෙරේ. කාමෝඝය එතර කෙරේ. කාමයෝගයෙන් වෙන් වෙන්. කාමාශ්‍ර‍වයෙන් නිරාශ්‍ර‍ව වේ. අභිධ්‍යාකායග්‍ර‍න්‍ථය (විෂම ලෝභය) බිඳී. කාමඋපාදානය ළංකොට නො ගනී.

 

වේදනාව දුක් වශයෙන් දක්නේ, ස්පර්ශාභාරය පිරිසිඳ දනී. දුඃඛයෙහි සැපය යන විපර්‍ය්‍යාසය දුරු කෙරේ. භවෝඝය එතර කෙරේ. භයයෝගයෙහි නො යෙදේ. භවාශ්‍ර‍වයෙන් නිරාශ්‍ර‍ව වේ. ව්‍යාපාද කායග්‍ර‍න්‍ථය සිඳී. සීලබ්බතොපාදානයන් නො ගනී.

 

සංඥා-සංස්කාරයන්අනාත්ම වශයෙන් දක්නේ මනෝසඤ්චේතනාහාරය (කුශලා‘කුශල කර්‍ම සඞ්ඛ්‍යාත සංස්කාර ස්කන්ධය) පිරිසිඳ දනී. අනාත්මයෙහි ආත්මය යන විපර්‍ය්‍යාසය දුරු කෙරේ. දෘෂ්ටිඕඝය පහ කෙරේ. දෘෂ්ටි යෝගයෙන් වෙන් වේ. දෘෂ්ටි ආශ්‍ර‍වයෙන් නිරාශ්‍ර‍ව වේ. ඉදංසච්චාභිනිවේස කාය ග්‍ර‍න්‍ථය බිඳී. ආත්මවාදෝපාදානය (මමයැ මාගේය යි දැඩි කොට) නො ගනී.

 

විඥානය අනිත්‍ය වශයෙන් දක්නේ විඥානාහාරය පිරිසිඳී. අනිත්‍යයෙහි නිත්‍යය යන විපර්යාශය දුරු කෙරේ. අවිද්‍යා ඕඝය එතර කෙරේ. අවිද්‍යායෝගයෙන් නො බැඳේ. අවිද්‍යාශ්‍ර‍වයෙන් අනාශ්‍ර‍ව වේ. සීලබ්බතපරාමාසකායග්‍ර‍න්‍ථය බිඳී. දිට්ඨිඋපාදානය දැඩිකොට නො ගනී.

 

මෙසේ ධීර වූ යෝගී තෙමේ පඤ්චස්කන්ධයෙහි විපල්ලසාදි සකල සංක්ලේශප්‍ර‍හාණයෙන් විපුල ඵල ඇති දැකීම වූ වධකාදීන් වශයෙන් නුවණින් දක්නේ යි.

 

 

සාධුජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධි මාර්‍ගයෙහි

ප්‍ර‍ඥාභාවනාධිකාරයෙහි ස්කන්ධ නිර්‍දෙශ නම් වූ තුදුස්වැනි

පරිච්ඡේදය මෙතෙකින් නිමියේයි.

 


15 පරිච්ඡේදය

ආයතන ධාතු නිර්දේශය

ආයතන (1)

 

ස්කන්ධයට අනතුරු වැ ආයතනයෝ දක්වනු ලැබෙති.

1.  චක්ඛායතනය,

2.  රූපායතනය,

3.  සෝතායතනය,

4.  සද්දායතනය,

5.  ඝාණායතනය,

6.  ගන්‍ධායතනය,

7.  ජිව්හායතනය,

8.  රසායතනය,

9.  කායායතනය,

10.     ඵොට්ඨබ්බායතනය,

11.     මනායතනය,

12.     ධම්මායතනයැ යි

 

ආයතන දොළොසෙකි. එහි එකක් පාසා (1) අර්‍ථය, (2) ලක්‍ෂණය, (3) අනූන - අනධිකතාය, (4) ක්‍ර‍මය, (5) සංක්‍ෂෙපවිස්තරය, (6) දතයුතු බව ය යන මොවුන්ගේ වශයෙන් විනිශ්චය දත යුතුයි.

 

(1) මෙහි අර්‍ථ වශයෙන්

i. විශේෂ අර්‍ථය

ii.සාමාන්‍ය අර්‍ථය යි දෙකෙකි.

 

එහි i විශේෂ අර්‍ථ වශයෙන්, රූපාලම්බනරසය, ආස්වාදනය කරනුයේ චක්ඛු නමි. (සම-විෂමත්වය ප්‍ර‍කාශ කෙරෙයි, යන අර්‍ථයි) වර්‍ණ විශේෂ ප්‍ර‍කාශ කෙරේනුයි රූප නමි. (වර්‍ණයා ගේ විකාරයට පැමිණෙමින් සිත්හි පවත්නා කැමැත්ත ප්‍ර‍කාශ කෙරෙයි යන අර්‍ථයි.)

 

අසුනුයේ ශ්‍රෝත්‍ර‍යැ, උසුරුවනු ලබනුයේ ශබ්ද යැ. ශ්‍රෝත්‍ර‍ විඥානයෙන් දතයුතු වූයේ යන අර්‍ථයි.) ආඝ්‍රාණය කරනුයේ ඝ්‍රාණයැ. ප්‍ර‍කාශ කරනු ලබනුයේ ගන්‍ධයයි. (තමා පිහිටි වස්තුව ප්‍ර‍කාශ කෙරෙයි යන අර්‍ථයි. ජීවිතය (පැවැත්මට උපකාර වූ රසය) කැඳවානුයි ජිව්හා නම. සත්ත්‍වයේ ආස්වාදනය කෙරේත්නුයි රස නමි. පාප ධර්‍මයන් ගේ ඉපදීමට ස්ථාන වේනුයි කාය නමි. (ආය නම් උත්පත්ති දේශයයි) ස්පර්‍ශ කරනුයේ ඵොට්ටබ්බ නමි. (අරමුණු) දැනගන්නේ මන නමි. තමා ගේ (ස්වභාවය ලක්‍ෂණය ධාරානයි ධම්ම නමි. මේ එකක් පාසා විශේෂාර්‍ථ යි.

 

ii අවිශෙෂයෙන් චිත්ත - චෛතසිකයන් තම තමා අයත් කෘත්‍යය පිණිස උත්සාහවත් කරවන හෙයින් ද, චිත්ත චෛතසිකයන් විස්තර කරන හෙයින් ද, දික් වූ සංසාර දුක්ඛයට පමුණුවන හෙයින් ද, ආයතනය යි දත යුතු ය.

 

විස්තර :- චක්‍ෂුරාදි ද්වාරයෙහි ද, රූපාදි ආලම්බනයෙහි ද, (ඒ ඒ ද්වාරාලම්බනයන්හි) උපදනා චිත්ත - චෛතසික ධර්‍මයෝ, තම තමා අයත් අනුභවනාදි කෘත්‍යයෙන් උත්සාහ කෙරෙති. නැගී සිටිති. ගැටෙති. ව්‍යායාම කෙරෙත්ය යි කී නියායි.

 

ඒ ඒ ද්වාර ආලම්බනයෙහි උපදින්නවූ චිත්ත-චෛතසික ධර්‍මයන්, මේ චක්‍ෂුරාදි ‘ආයතනයෝ විස්තර කෙරෙත්ය’ යි කීසේය යි දතයුතු.

 

තවද, නො දත හැකි අක්-මුල් ඇති මේ සසර පැවැත්තාවූ, ඉතාම දික්වූ සසර දුක නොනවත්නාතාක් (නැවත නූපදනා සේ නිරුද්‍ධ නොවන තාක්) ගෙන යන්නවුන් මෙන් පවත්වත් නුයි කී නියායි.

 

මේ සියලු ධර්‍මයෝ උත්සාහ කරන හෙයින් ද, චිත්ත-චෛතසික ධර්‍මයන් විස්තර කරන හෙයින් ද, මතු මතු ගෙනයන හෙයින් ද, ආයතනය, ආයතනය යි කියනු ලැබෙති.

 

තවද, නිවාසස්ථානය, පිහිටීමට ආධාරස්ථානය, රැස්වන ස්ථානය, හටගන්නා ස්ථානය, කාරණය යන අර්‍ථයෙන් ද ආයතන නම් වේය යි දතයුතු.

 

ඒ මෙසේයි :- ‘ඊශ්වරායතනය’ වාසුදේවායතනය, යනාදීන්හි ලෙව්හි වාසස්ථානය ආයතනය යි කියයි. සුවර්‍ණායතනය, රජතායතනය යනාදීන්හි ආකරය ආයතනය යි කියයි.

 

“මනොරමෙ ආයතනෙ - සේවන්තිතං විහද්ධගමා”යි මහරහත් නමැති පක්‍ෂීන්ගෙන් ගැවසීගත් ශාලවනොද්‍යානයකට බඳු සර්‍වඥ ශාසනයෙහි, ආර්‍ය්‍ය සංඝ සඞ්ඛ්‍යාත පක්‍ෂිසමූහයා තථාගත නමැති වෘක්‍ෂරාජයා සෙවුනාහු ය’ යන මෙහි රැස්වන ස්ථානය, ආයතනය යි කියනු ලැබේ.

 

“දක්‍ෂිණ පථය ගවයන් ගේ ආයතනය යනාදීන්හි හටගත් දේශය ආයතනය යි කියනු ලැබේ. “තත්‍ර‍තත්‍රෙව සක්ඛි භබ්බතං පාපුණාති සතිසති ආයතනෙ”[507] “සෘද්ධිවිධඥානාදි අභිඥාවට සුදුසු (ප්‍රාර්‍ථනාවක්) අධිකාරයක් ඇතිකල්හි, ඒ ඒ සෘද්ධිවිධඥානාදි වූ ස්ථානයෙහි මැ සාක්‍ෂියට සුදුසු බවට පැමිණේ” යනාදීන්හි කාරණ ආයතනය යි කියනු ලැබේ.

 

චක්‍ෂුරාදීන්හි පැවති ඒ ඒ චිත්ත-චෛතසික ධර්‍මයෝ, චක්‍ෂුරාදීන් හා සම්බන්ධ පැවැතුම් ඇති හෙයින්, වාසය කරන්නවුන් මෙන් වෙත්නුයි, චක්ඛු ආදිය ඒ චිත්ත-චෛතසික ධර්‍මයන්ට නිවාසස්ථානය වේ. චක්‍ෂුරාදීන්හි ඒ චිත්ත-චෛතසික ආකීණි හෙයින් ද, චක්‍ෂුරාදිය ඇසුරු කරන හෙයින් ද, ඒ රූපාදිය ආලම්බන කොට ඇති හෙයින් ද, චක්‍ෂුරාදිය ඒ චිත්ත-චෛතසිකයන්ට ආකර ද වේ.

 

චක්‍ෂුරාදිය ඒ ඒ චිත්ත-චෛතසිකයන් ගේ සමෝසරණ ස්ථානය ද වේ. ඒ ඒ වස්ත්‍ර‍-ද්වාර-ආලම්බන වශයෙන් රැස්වන ස්ථාන හෙයින් චිත්ත-චෛතසික ධර්‍මයෝ, රැස්වන්නවුන් මෙන් හටගන්නාහු වෙති. ඒ චක්‍ෂුරාදීන් නිශ්‍ර‍ය බැවින් ද, රූපාදය ආලම්බන බැවින් ද, ඔවුන් විෂයයෙහි මැ උපදනා හෙයින් චක්‍ෂුරාදිය ඒ චිත්ත-චෛතසිකයනට උත්පත්ති දේශය ද වේ. ඒ චක්‍ෂුරාදීන් නැති කල්හි ඒ චිත්ත-චෛතසික ධර්‍මයන් නූපදනා හෙයින් චක්‍ෂුරාදිය චිත්ත-චෛතසික ධර්‍මයනට කාරණ වේ.

 

මෙසේ නිවාසස්ථානාර්‍ථයෙන් ද, ආකරාර්‍ථයෙන් ද, සමොසරණස්ථානාර්‍ථයෙන් ද, හටගත් ප්‍රදේශාර්‍ථයෙන් ද, (හෙත්‍වර්‍ථයෙන් ද) කාරණාර්‍ථයෙන් ද, යන මෙතෙක් කරුණින් මේ ධර්‍මයෝ ආයතනය, ආයතනය යි කියනු ලැබෙත්. එහෙයින් කියන ලද අර්‍ථයෙන් චක්ඛු නමුදු ආයතන නමුදු ඒ ම නුයි. චක්ඛායතනය -පෙ- ධම්ම නමුදු, ආයතන නමුදු හේ ම නුයි ධම්මායතනයයි මෙසේ අර්‍ථ වශයෙන් විනිශ්චය දතයුතු.

 

(2) ලක්‍ෂණ වශයෙන්, චක්‍ෂුරාදීන් ගේ ලක්‍ෂණ වශයෙන් ද විනිශ්චය දතමනායැ. එය ස්කන්ධ නිර්‍දෙශයෙහි කී නයින් දතයුතු.

 

(3) තාවත් ප්‍ර‍මාණ වශයෙන්, (එපමණ බැවින්) චක්‍ෂුරාදිය ද, ඔවුන් අයත් ස්වභාව ධරන හෙයින් ධර්‍මායතනය යැ.

 

ප්‍ර‍ශ්න :- එසේවන්නා ‘ධර්‍මායතනයැ යි’ නො වදාරා, ද්වාදශායතනයැ යි වදාළේ කවර හෙයින් ද?

 

පිළිතුර :- ෂඩ් විඥානකායයන් ගේ හටගැනීමට කාරණවූ ද්වාර ආලම්බනයන් පිරිසිඳ දැක්වීම සඳහා ද්වාදශායතනයක් වදාළහ.

 

ඒ එසේමැයි :- චක්ඛුවිඤ්ඤාණ වීථියෙහි ඇතුළත් වූ විඥාන-කායයාගේ හෙවත් සසම්ප්‍ර‍යුක්ත චිත්තයාගේ හටගැනීමට චක්ඛායතනය මැ ද්වාරය වේ. රූපායතනය මැ ආලම්බනය වේ. එසේම සෙසු ද්වාරාලම්බනයෝ ද, පිළිවෙළින් සෝතවිඤ්ඤාණාදියට උත්පත්ති ද්වාර හා, ආලම්බන වෙති.

 

සවැනි මනොවිඤ්ඤාණ වීථියට ඇතුළත් වූ විඥානකායයාගේ හෙවත් සසම්ප්‍ර‍යුක්ත භවාඞ්ග චිත්තයා ගේ චලනය වී සිඳෙන මනායතනයා ගේ ඒක දේශයක් ම, මනෝවිඥානයා ගේ හටගැනීමට ද්වාර වේ. චක්ඛුවිඤ්ඤාණාදීන් හා අසාධාරණ වූ ධර්‍මායතනය ම එයට ආලම්බන වන්නේ ය. භවාඞ්ග චිත්තය චලනය වශයෙන් පැවැති කල්හි ආවර්‍ජනය පවත්නා හෙයින් ද නොවූ කල නොපවත්නා හෙයින් ද මෙසේ කීයේ වේ.

 

මෙසේ ෂඩ් විඥාන කායයා ගේ උත්පත්තියට ද්වාර-ආලම්බන බෙදා දැක්වීම් වශයෙන් දොළොස් (12) ආයතනයන් දැක්වූහ.

 

මෙසේ මේ ආයතන කථාවෙහි (අනූන-අනධික භාවයෙන්) තාවත් ප්‍ර‍මාණ වශයෙන් විභාග දතයුතු.

 

(4) ක්‍ර‍ම වශයෙන් - මෙහි ද පෙර ස්කන්ධ කථාවෙහි කී උත්පත්ති ක්‍ර‍මාදීන් අතුරින් දේශනා ක්‍ර‍මය මැ යෙදෙන්නේ ය.

 

විශේෂ :- චක්ඛායතනාදීන් ගේ උත්පත්ති ක්‍ර‍මාදියෙහි විශේෂ ඇති. අධ්‍යාත්මික ෂඩායතනයන් අතුරිනුදු දැකීම් හා හැපීම් සහිත රූපාලම්බනය අරමුණු කොට පවත්නා චක්ඛායතනය ප්‍ර‍කට හෛයින් පළමුවැ වදාළහ. අනතුරුවැ දැකීම් රහිත ගැටීම් සහිත ශබ්දායතනාදිය අරමුණු කොට පවත්නා සෝතායතනාදිය වදාළහ. දර්‍ශනානුත්තරිය, ශ්‍ර‍වණානුත්තරිය ධර්‍මයනට හේතු භාවයෙන් බොහෝ උපකාර හෙයින්, අධ්‍යාත්මිකායතන අතුරින් චක්ඛායතන-සෝතායතන දෙක පළමුවැ වදාළහ. එයට අනතුරු වැ ඝාණාදි ආයතන තුන වදාළහ. චක්ඛාදි පඤ්චායතනයන් මැ ගෝචරයන් (ආලම්බනයන්) විෂය කොට ඇති හෙයින් මනායතනය අන්තයෙහි වදාළහ.

 

චක්ඛායතනාදීන්ට ගෝචර බැවින් වනාහි ඒ ඒ අධ්‍යාත්මිකායතනයනට අනතුරු වැ බාහිරායතන අතුරින් රූපායතනාදිය පිළිවෙළින් වදාළහ. වැලිදු ‘චක්ඛුවිඤ්ඤාණාදීන් ගේ හටගැනීම් හේතූන් නියම කිරීම් වශයෙන් මේ ආයතනයන් ගේ ක්‍ර‍මය වදාළහයි, දතයුතුයි.

 

ඒ මෙසේ යි:- ‘චක්ඛුංචපටිචච රූපෙච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං -පෙ- මනං පටිච්ච ධම්මෙච උප්පජ්ජති මනොවිඤ්ඤාණං’[508] යි මෙසේ ක්‍ර‍ම වශයෙන් විනිශ්චය දතයුතුයි.

 

(5) සංක්‍ෂේප විස්තර වශයෙන් :- සංක්‍ෂේප වශයෙන් වනාහි මනායතනය හා ධම්මායතනය ඒක දේශයෙක් ද, නාමයෙහි සංග්‍ර‍හ වේ. පිළිවෙළින් අන්‍ය ආයතනයෝ රූපයෙහි සංගෘහීත වෙත්. මෙසේ ද්වාදශායතනය මැ නාම - රූප මාත්‍ර‍යක් ම වේ.

 

විස්තාර වශයෙන් අධ්‍යාත්මික ආයතන අතුරින් ප්‍ර‍ථම වූ චක්ඛායතනය ජාති (ස්වභාව) වශයෙන් චක්‍ෂුඃප්‍ර‍සාද මාත්‍ර‍ය මැයි. ප්‍ර‍ත්‍යය ගති නිකාය-පුද්ගල යන මොවුන් ගේ වශයෙන් අනන්ත භේද වේ.

 

ප්‍ර‍ත්‍යය (ප්‍ර‍ත්‍යය නම්) කුශලා‘කුශලාදි කර්‍ම හා ඒ ඒ කර්‍මයනට සහකාරී කාරණ වූ අභ්‍යයන්තර - බාහිර ප්‍ර‍ත්‍යය යැ. ඔහු නානාවිධ වෙති.

 

ගති, නිරය ආදි පඤ්ච ගතීන් ගේ වශයෙන් ද නානාවිධය.

 

නිකාය ඇත්-අස්-ආදිවූ ද, ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදි වූ ද, ප්‍රභේදය නිකාය භේදය යි.

 

එක් එක් සත්ත්‍වයකු ගේ වශයෙන් පුද්ගල භේදය වේ.

 

සෝතායතනාදි සතර දෙන ද (එසේම චක්ඛායතනය මෙන්මැ.) නානා භේද ඇත්තාහ. මනායතනය, කුශල-අකුශල-විපාක-ක්‍රියා වශයෙන් එකුන් අනූවක් (89) ප්‍රභේද ඇති එක්සිය එක්විස්සක් (121) ප්‍රභේද ඇත්තේ හෝ වේ.

 

චක්ඛුවත්‍ථු ආදී වස්තු ප්‍රභේදයන් හා දුක්ඛාපටිපදාදි ප්‍ර‍තිපදා ප්‍රභේදයන් ද අනන්ත ප්‍රභේද ඇත්තේ යි.

 

මෙහි වස්තු න්ම චක්‍ෂුර්‍වස්තු ආදිය යැ. ඔවුන් ගේ වශයෙන් විඤ්ඤාණය අනන්ත ප්‍රභේද වේ.

 

ප්‍ර‍තිපදා නම් දුක්ඛාපටිපදාදියයි. ආදි ශබ්දයෙන් ධ්‍යාන, අධිපති, භූමි, ආලම්බන ආදිය ගැනේ. ඔවුන් ගේ වශයෙන් ද මනායතනය අනේක විධයි.

 

රූප, ශබ්ද, ගන්‍ධ, රසායතනයෝ ද, සභාග විසභාග ප්‍ර‍ථ්‍යායාදීන් ගේ වශයෙන් නානා ප්‍රභේදයහ. නීලවර්‍ණය නීලවර්‍ණයට සභාග යැ. පීතාදිය එයට විසභාග යැ. කර්‍මාදිය ප්‍ර‍ත්‍යයයේ යි. සෙසු භේද යට කී සේයි.

 

ඵොට්ඨබ්බායතනය, පඨවි, තේජෝ, වායෝ ධාතූන්ගේ වශයෙන් ත්‍රිවිධ ය. ප්‍ර‍ත්‍යයාදීන් ගේ ප්‍රභේදයෙන් අනේකවිධයි.

 

ධම්මායතනය, වේදනා-සංඥා-සංස්කාර ස්කන්ධ ත්‍ර‍යය’ සූක්‍ෂ්ම රූප, නිර්‍වාණ යන එකුන් සැත්තෑ (69) වක් ධර්‍මයන් ගේ (i) ස්වභාව භේදයෙන් හා (ii) නානා ප්‍රභේද හෙයින් අනේක විධයි.

 

(i) මෙහි සුඛ-දුක්ඛ-උපෙක්ඛා වේදනාදිය ස්වභාව භේදයයි.

 

(ii) චක්ඛු සම්ඵස්සජ වේදනා, සෝතසම්ඵස්සජ වේදනාදිය නානාත්‍ව භේදයයි.

 

මෙසේ සංක්‍ෂේප විස්තර විසින් ප්‍රභේද දතයුතුයි.

 

(6) දතයුතු බව වශයෙන් මෙසේයි:- සියලු සංස්කාර වූ ආයතනයෝ, යමකින් නො ආ බැවින් හා නො හික්මෙන බැවින් ද, දතයුත්තාහ. ඒ ආයතනයෝ, උත්පාදක්‍ෂණයෙන් පූර්‍වයෙහි යම්කිසි තැනෙකින් එන්නාහුද, නොවෙති. භඞ්ගාක්‍ෂණයෙන් මත්තෙහි යම්කිසි තැනකට යන්නාහු ද නොවෙත්. එහෙයින් මැ ඔවුහු උත්පාදක්‍ෂණයෙන් පූර්‍වයෙහි නො දත හැකි ස්වභාව ඇත්තාහුය. විනාශයෙන් මතුයෙහි නැසෙන ස්වභාව ඇත්තාහ. එකී පූර්‍වාන්ත-අපරාන්ත දෙකට මධ්‍යයෙහි වූ දැන් පවත්නා ක්‍ෂණයෙහි හේතූන් හා සම්බන්ධ පැවතුම් ඇති බැවින් කිසිවකු ගේ වශයට නොපැමිණ පවත්නාහ. එහෙයින් (විද්‍යාමාන ක්‍ෂණයෙහිද ස්වල්ප කාලයක් පවත්නා බැවින් හා, අනිත්‍ය-දුඃඛ විපරිණාම ස්වභාව ඇති හෙයින්) කිසිවකු ගේ අදහසක් අනුවැ නොපවත්නාහ.

 

මෙසේ කිසිවකින් නො එන හෙයින් ද, නො නික්මෙන හෙයින් ද, විනිශ්චය දතයුතුයි.

 

අනතුරුව නිරීහ (චඤ්චල වීම් රහිත හටගැනීම් කෘත්‍ය වශයෙන් හා, අව්‍යාපාර (නිරුත්සාහ) වශයෙන් මෙසේයි. චක්ඛායතන-රූපාලම්බනාදියට අප ගේ එක්වීමෙන්, විඥානය උපන්නේ නම් මැනැවැයි මෙබඳු අදහසෙක් නොවේ. ඒ චක්ඛායතන-රූපාලම්බනාදීහු විඥානය උපදවනු පිණිස ද්වාර වශයෙන් හෝ, වස්තු වශයෙන් හෝ, ආලම්බන වශයෙන් හෝ උත්සාහ නො කරන්නාහු ය. උත්සාහයට හෝ නො පැමිණෙති. චඤ්චලවීම සමග හටගන්නා වූ කෘත්‍යයන් ගේ වශයෙන් ඊහ නම් වෙයි. මෙසේ වේවයි සිතීම් වශයෙන් ක්‍රියා කිරීම ව්‍යාපාර නම් වේ.

 

වැලි චක්ඛායතන-රූපාලම්බනාදීන් ගේ සමවායයෙන් චක්ඛුවිඤ්ඤාණාදීන් ගේ හටගැනීම ස්වභාව ධර්‍මයෙන් මැ වේ. එහෙයින් මැ නිරුත්සාහයෙන් ද, අව්‍යාපාරයෙන් ද මේ ද්වාදශායතනයෝ දතයුත්තාහ. වැලිදු මේ අධ්‍යාත්මිකායතන සදෙන නිත්‍ය, සුඛ, සුභ, ආත්මය යන මෙයින් විරහිත හෙයින් මිනිසුන්ගෙන් සිස්වූ ගමක් මෙන් දතයුතු.

 

බාහිරායතන සදෙන අධයාත්මිකායතනයට අතිශයින් වෙහෙස කරන බැවින් ගම්පහරන සොරුන් මෙන් දතයුතු. “චක්ඛු භික්ඛවෙ හඤ්ඤති මනාපා‘මනාපෙහි රූපෙහි”[509] ‘මහණෙනි! චක්ඛායතන මනාප-අමනාප රූපයන් විසින් හිංසා කරනු ලැබේ” යනාදිය එයින් වදාළහ.

 

තවද අධ්‍යාත්මිකායතන සදෙන සර්‍පය, කිඹුල් ය, උකුසුය, සුනඛ ය, ගෘශාල ය, වඳුරු ය, යන ෂඩ් ප්‍රාණීන් මෙන් දැක්ක යුත්තාහ. බාහිරායතන සදෙන ඒ ප්‍රාණීන් ගේ සිත් ඇලවීමට සුදුසු වූ - තුඹසය, ඛිලය, ආකාසය, ඇතුළු ගමය, අමු සොහොනය, අරණ්‍යය යන ෂට් ගෝචර ස්ථානයන් මෙන් පිළිවෙළින් දැක්ක යුත්තාහ.

 

මේ දතයුතු බව වශයෙන් විනිශ්චයයි.

 

මේ ද්වාදශායතනයන් ගේ විස්තර කථාවයි.

 

ධාතු කථාව (2)

 

ආයතන කථාවට අනතුරු වැ ධාතු කථාව දක්වනු ලැබේ.

මෙහි 1. චක්ඛු ධාතු, 2. රූප ධාතු, 3. චක්ඛු විඤ්ඤාණ ධාතු,

4.  සොත ධාතු, 5. සද්ද ධාතු, 6. සොත විඤ්ඤාණ ධාතු,

7. ඝාණ ධාතු, 8. ගන්‍ධ ධාතු, 9. ඝාණ විඤ්ඤාණ ධාතු,

10. ජිව්හා ධාතු, 11. රස ධාතු, 12. ජිව්හා විඤ්ඤාණ ධාතු,

13. කාය ධාතු, 14. ඵොට්ඨබ්බ ධාතු, 15. කාය විඤ්ඤාණ ධාතු,

16. මනො ධාතු, 17. ධම්ම ධාතු, 18. මනො විඤ්ඤාණ ධාතුය යි ධාතූහු

අටළොසෙකි.

 

මෙහි (1) අර්‍ථ වශයෙන් ද, (2) ලක්‍ෂණාදීන් වශයෙන් ද, (3) ක්‍ර‍ම වශයෙන් ද,

(4) තාවත් ප්‍ර‍මාණ වශයෙන් ද,

     

(5) සංඛ්‍යා වශයෙන් ද, (6) ප්‍ර‍ත්‍ය වශයෙන් ද, (7) දතයුතු බැවින් ද විනිශ්චය දත යුතු ය.

 

1. අර්‍ථ වශයෙන් මෙසේයි :- අරමුණු රස විඳින්නේ, හෙවත් රූපාලම්බනය ප්‍ර‍කට කොට දක්නේ චක්ඛු නම. (ළෙහි වන් බව) ප්‍ර‍කට කරන්නේ රූප නම. ඒ චක්ඛුහු ගේ විඤ්ඤාණය = චක්ඛු විඤ්ඤාණය යැ. මේ ආදි ක්‍ර‍මයෙන් චක්ඛු ආදීන්ගේ විශේෂාර්‍ථ වශයෙන් විනිශ්චය දත යුතු ය. (රූප, ආලෝක, මනසිකාරාදීහු චක්‍ෂුර්විඥානයා ගේ උපැත්මටට හේතු වුව ද, චක්ඛුව අසාධාරණ හේතු වශයෙන් දක්වන ලදී. සෝතාදි සෙස්සෙහි ද මෙසේ මැයි.

 

අවිශේෂ අර්‍ථ (සාමාන්‍ය) වශයෙන් වනාහි :- (i) “මෙසේ මෙසේ තා විසින් පැවැතිය යුතුය” යි විනියෝග කරන්නාක් මෙන් උපදවන්නෙනෙුයි හෝ (කර්‍තෘකාරක හෙයිනි) (ii) (සත්ත්‍වයන් විසින්) ධරනු ලැබේනුයි හෝ (කර්‍මකාරක හෙයිනි) (iii) දුක්ඛයා ගේ විධානයනුයි හෝ (භාවකාරක හෙයිනි.) (iv) මේ කරණකො ගෙන සංසාර දුක්ඛය විධාන කරනු ලැබේනුයි හෝ, (කරණකාරක හෙයිනි) (v) මෙහි සංසාර දුක්ඛය පිහිටුවනු ලැබේනුයි හෝ (ආධාර කාරක හෙයිනි.) ධාතු නම් වේ.

 

විස්තර :- (i) ස්වර්ණ - රජතාදීන්ටට බීජය වූ ශෛලාදි ධාතුන් සුවර්‍ණ රජතාදිය උපදවන්නාක් මෙන් ලෞකික වූ ධාතූහු, (කාරණ වීම් වශයෙන් පිරිසිඳන ලදු වැ) නොයෙක් ආකාර වූ සසර දුක උපදවති.

 

(ii) බර උසුලන්නවුන් විසින් උසුලනු ලබන බර මෙන්, සත්ත්‍වයන් විසින් චක්‍ෂුරාදි ධාතුහු උසුලනු ලබත් යැ යන අර්‍ථයි.

 

(iii) මේ ධාතුන් වශයෙහි නො පවත්නා හෙයින් දුක් ඉපයීම් මාත්‍රයෙක් මැයි.

 

(iv) (කාරණ වූ) මේ චක්ඛාදීන් කරණකොට ගෙන සත්ත්‍වයන් විසින් සසර දුක ගළපනු ලැබේ.

 

(v) එසේ ගළපන ලද්දා වූ ඒ සසර දුක ඒ චක්‍ෂුරාදි විෂයයෙහි පිහිටුවනු ලැබේ. (මේ යට දැක්වූ සංක්‍ෂේපය ගේ ඒ ඒ කාරක සම්බන්ධ විස්තරයයි.)

 

මෙසේ චක්‍ෂුරාදි ධාතූන් අතුරින් එක් එක් ස්වභාව ධර්‍මයක් ලැබෙන - ලැබෙන පරිද්දෙන් විද්ධති = උපදවයි; ධීයතෙ = ධරනු ලැබේ. යනාදි අර්‍ථ වශයෙන් ධාතු යයි කියනු ලැබේ.

 

තවද:- තීර්‍ථකයින් ගේ ආත්මය පරමාර්‍ථ වශයෙන් නැත්තාක් මෙන්, මේ ධාතූහු පරමාර්‍ථ වශයෙන් නැත්තාහු නොවෙති. මේ චක්‍ෂුරාදීහු තමා ගේ ස්වභාව ධරන හෙයින් ධාතු නම් වෙති.

 

තවද:- ලෙව්හි විසිතුරු හිරියල් - මනොසීලාදි ශෛලාවයව ධාතුයයි කියන්නා සේ, මේ චක්‍ෂුරාදීහු ද ශෛලාවයට ධාතුන් වැනි හෙයින් ධාතු නම් වෙති. මේ අටළොස් ධාතුහුම ඤාණඤෙය්‍ය ධර්‍මයන් ගේ අවයව වන හෙයින් විචිත්‍රයෝ යි.

 

යම්සේ ශරීරය යි කියන ලද මේ පුඤ්ජයා ගේ අවයව වූ ඔවුනොවුන්ට විසභාග ලක්‍ෂණයෙන් පිරිසිඳින ලද රස ශ්‍රොණිතාදියේ ධාතු යන නාමය වේ ද, පඤ්චස්කන්ධය යි කියන ලද මේ ආත්ම භාවයා ගේ (කොටස් වූ) අවයවයන් ගේ ද ‘ධාතු’ යන ව්‍යවහාරය දතයුතුයි.

 

මේ චක්‍ෂුරාදීන් එකිනෙකට අසමාන ස්වභාව විසින් පිරිසිඳින ලද්දාවුන් හෙයිනි. (රසාදි සප්ත ධාතූන්හි නිරූඪ වූ ‘ධාතු ශබ්දය චක්‍ෂුරාදීන්හි ද සදෘශෝපචාර වශයෙන් යෙදේ.)

 

තවද අර්‍ථයෙකි :- මේ ධාතු යනු නිර්ජීව මාත්‍ර‍යට මැ නමෙකි. එහෙයින් “ඡධාතුරො අයං භික්ඛු පුරිසො”[510] ‘මහණ! මේ පුරුෂ තෙමේ ෂඩ් ධාතු මාත්‍ර‍යක් ඇත්තේය’යි වදාළහ. එහෙයින් මැ නිඃසත්ත්‍ව - නිර්ජීවාර්‍ථයෙන් (චක්ඛුව තං ධාතුව = චක්ඛු ධාතු) ‘චක්ඛු වූයේත්, ධාතු වූයේත් හේම නුයි චක්ඛු ධාතු නම්, සෙස්සෙහි ද මෙසේ මැයි. (මනොවිඤ්ඤාණඤ්චතං ධාතුව = මනො විඤ්ඤාණ ධාතු) ‘මනො විඤ්ඤාණය වූයේත්, ධාතු වූයේත් හේම නුයි මනො විඤ්ඤාණ ධාතු නමි, මෙසේ මෙහි අර්ථ වශයෙන් විනිශ්චය දතයුතුයි.

 

(2) ලක්‍ෂණාදි වශයෙන්, ඒ චක්ඛු ආදීන් ගේ ලක්‍ෂණාදිය ස්කන්ධනිර්‍දෙශයේහි[511] කී පරිද්දෙන් දතයුතුය.

 

(3) ක්‍ර‍ම වශයෙන්, මේ ධාතු නිර්දේශයෙහි ද, පෙර ආයතන නිර්දේශයෙහි[512] කීසේ, උත්පත්ති ක්‍ර‍මාදිය අතුරින් දේශනා ක්‍ර‍මය මැ යෙදේ. මෙද වනාහි හේතු - ඵලධර්‍මයන් ගේ පටිපාටිය නිශ්චය කිරීම් වශයෙන් වදාළ සේක.

 

ඒ මෙසේයි :- චක්ඛුධාතු-රූපධාතු යන මේ දෙකම හේතු නම්, චක්ඛුවිඤ්ඤාණ ධාතුව ඵලයයි. මේ නයින් ශ්‍රොත්‍ර‍ධාත්‍වාදි සියලු තන්හි ක්‍ර‍ම වශයෙන් විනිශ්චය දතයුතුය.

 

(4) තාවත් ප්‍ර‍මාණ වශයෙන්, ඒ ඒ සූත්‍ර‍ - අභිධර්‍ම දේශනාවන්හි ‘අභා ධාතු ය, සුභා ධාතු ය, ආකාසානඤ්චායතන ධාතු ය, විඤ්ඤාණඤ්චායතන ධාතු ය, ආකිඤ්චඤ්ඤායතන ධාතු ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතු ය, සඤ්ඤාවෙදයීත නිරොධ ධාතු ය, කාම ධාතු ය, නෙක්ඛම්ම ධාතු ය, ව්‍යාපාද ධාතු ය, විහිංසා ධාතු ය, අව්‍යාපාද ධාතු ය, අවිහිංසා ධාතු ය, සුඛ ධාතු ය, දුක්ඛ ධාතු ය, සොමනස්ස ධාතු ය, දොමනස්ස ධාතු ය, උපෙක්ඛා ධාතු ය, අවිජ්ජා ධාතු ය, ආරම්භ ධාතු ය නික්කම ධාතු ය, පරක්කම ධාතු ය, හීන ධාතු ය, මජ්ඣිම ධාතු ය, පණිත ධාතු ය, පඨවි ධාතු ය, ආපෝ ධාතු ය, තේජෝ ධාතු ය, වායෝ ධාතු ය, ආකාස ධාතු ය, විඤ්ඤාණ ධාතු ය, සඞ්ඛත ධාතු ය, අනෙක ධාතු නනා ධාතු ලෝකය, යි මේ ආදි අන්‍ය වූ ධාතුහුද දක්නා ලැබෙති.

 

ප්‍ර‍ශ්නයෙකි :- මෙසේ ඇති කල්හි මේ සියලු පන්තිස් (35) ධාතුන් ගේ වශයෙන් නො පිරිසිඳ, අටළොස් (18) ධාතුයයි මේ ප්‍ර‍මාණය ම කරන ලද්දේ කවර හෙයින් ද?

 

පිළිතුර :- ස්වභාවයෙන් (පරමාර්ථ වශයෙන්) පවත්නා ආභාදි සියලු ධාතු ඒ අටළොස් (18) ධාතූන්හි ඇතුළත් වන හෙයිනි.

 

විස්තර :- චන්‍ද්‍රාභාදි ආභා ධාතුව රූප ධාතුවක් මැයි. (සුභ නිමිත්ත සඞ්ඛ්‍යාත) සුභා ධාතුව රූපාදි ආලම්බන පිළිබඳ යැ. කවර හෙයින් ද යත් :- සුභ නිමිත්ත වන හෙයිනි. සුභාධාතු නම් සුභ නිමිත්ත මැයි. හෙද රූපධාත්‍වාදීන් විනිර්මුක්ත වූවක් නැත්මැයි.

 

තවද කුශල විපාක චිත්තයට අරමුණු වූ රූපාලම්බනාදිය මැ සුභාධාතු නම් වේ. ඒ කුශල විපාක චිත්තයට ආලම්බන වූ හෙයින් ම සුභාධාතුව රූපාදි ආලම්බන මාත්‍ර‍යක් ම වේ. ආකාසානඤ්චායතන ධාතු ආදියෙහි චිත්තය මනොවිඤ්ඤාණ ධාතුම ය. සෙසු සහජාත ධර්‍ම ධර්‍මධාතු නම. සඤ්ඤා වෙදයිත නිරොධ ධාතුව වනාහි (ස්වභාව වශයෙන්) පරමාර්‍ථ වශයෙන් නැති. එය මනොවිඤ්ඤාණ ධාතු, ධම්ම ධාතූන් ගේ නිරුද්ධකිරීම් මාත්‍ර‍යෙක් ම ය.

 

කාම ධාතුව, ධර්‍ම ධාතු මාත්‍රයෙක් ම වේ. එයින් කීහ. “තත්‍ථ කතමා කාම ධාතු, කාම පටිසංයුතෙතා තක්තො චිතත්කො - මිච්ඡාසංකප්පො[513] යි එහි කාම ධාතු නම් කාම ප්‍ර‍තිසංයුක්ත වූ තර්‍කය, විතර්‍කය, මිථයා සංකල්පය.

 

තවද :- අටළොස් ධාතුව කාම ධාතු යැ. යටින් අවීචිය හිම්කොට උඩින් පරනිර්මිත වසවර්‍තතිය ඇතුළත් කොට මේ අතරෙහි පවත්නා, මේ අතර හැසිරෙන්නා වූ, මේ අතර ඇතුළත් වූ ස්කන්ධ-ධාතු-ආයතන-රූප-වේදනා-සංඥා-සංස්කාර-විඥාන යන මේ කාම ධාතු යැ.

 

නෙක්ඛම්ම ධාතුව, ධර්‍ම ධාතුව මැයි. තවද ‘සියලු කුශල ධර්‍ම නෙක්ඛම්ම ධාතු ම යැ’1 යි වදාළ හෙයින්, මනෝවිඤ්ඤාණ ධාතුව ද නෙක්ඛම්ම ධාතුව මැයි.

 

ව්‍යාපාද - විහිංසා, අව්‍යාපාද - අවිහිංසා, සුඛ - දුක්ඛ - සොමනස්ස - දොමනස්ස - උපෙක්ඛා, අවිජ්ජා - ආරම්භනික්කම - පරක්කම ධාතු ද ධර්‍ම ධාතුවෙහි මැ ඇතුළත් වේ. හීන-මධ්‍යම-ප්‍ර‍ණිත ධාතුහු අටළොස් ධාතු මාත්‍ර‍ය මැයි.

 

ඒ මෙසේයි :- හීනවූ චක්‍ෂුරාදිය හීන ධාතු නම. මධ්‍යම ප්‍ර‍ණිත චක්‍ෂුරාදිය මධ්‍යම-ප්‍ර‍ණිත ධාතු නම් වේ. මුඛ්‍ය වශයෙන් අකුශල මනොවිඤ්ඤාණ ධාතු-ධර්‍ම ධාතූහු හීන ධාතු නම්හ. ලෞකික කුශල - අව්‍යාකෘත දෙක ද, චක්‍ෂුර් ධාතු ආදිය ද, මධ්‍යම ධාතු නම. ලෝකෝත්තර ධර්‍ම ධාතු - මනොවිඤ්ඤාණ ධාතු ප්‍ර‍ණිත ධාතු නම.

 

පඨවි-තේජෝ-වායෝ ධාතුහු ඵොට්ඨබ්බ ධාතුමැයි. ආකාස ධාතු-ආපෝ ධාතු දෙක ධම්ම ධාතු මැයි. විඤ්ඤාණ ධාතුව චක්ඛු විඤ්ඤාණාදි සප්ත විඥාන ධාතූන් ගේ සංග්‍ර‍හයෙක් මැයි. සතළොස් (17) ධාතු ද ධර්‍මධාතුහු ගේ ඒක දේශයක් ද, සඞ්ඛත ධාතු නම. අසඞ්ඛත ධාතුව වනාහි ධර්‍ම ධාතුවේ ඒක දේශයෙක් මැයි. අනේක ධාතු - නානා ධාතු ලෝකය වනාහි අටළොස් ධාතුන් ගේ ප්‍රභේද මාත්‍රයෙක් මැයි.

 

මෙසේ පරමාර්‍ථ වශයෙන් වද්‍යමාන වූ සියලු ධාතුන් අටළොස් ධාතූන්හි ඇතුළත් බැවින්, අටළොසක් ම වදාළහ.

 

තවද ක්‍ර‍මයෙකි:- ආලම්බන විජානන ලක්‍ෂණ වූ විඥානයෙහි ජීව සංඥා ඇති පුද්ගලයන් ගේ සංඥා විපර්‍ය්‍යාශය නැසීම පිණිස ද, අටළොසක් ම වදාළහ.

 

ඒ එසේමැයි :- විජානන ස්වභාව වූ විඥානයෙහි ජීව සංඥා ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. ඒ සත්ත්‍වයනට චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය-මනො-මනොවිඤ්ඤාණ යන ධාතූන් ගේ භේදයෙන් ඒ විඥානයා ගේ අනේකත්‍වය ද, චක්‍ෂුඃප්‍ර‍සාදය, රූපාලම්බනය ආදි වූ ප්‍ර‍ත්‍යයන් අයත් පැවැතුම් ඇති බැවින් අනිත්‍ය බවද, ප්‍ර‍කාශ කොට දීර්‍ඝ කාලයක් මුළුල්ලේ සන්තානයෙහි පැවැති ජීව සංඥාව සමූල ඝාතනය කරනු කැමැති භාග්‍යවතුන් වහන්සේ අටළොස් ධාතූහු වදාළහ.

 

බෙහෙවින් කියනු කිම? වෛනේයයන් ගේ අදහස් වශයෙන් ද අටළොසක් ම වදාළහ.

 

නාති සඛෙප නාති විස්තාර වූ මේ දේශනාවෙන්, යම් සත්ත්‍වයෙක් විනයනය කරනු කැමැතිවූහු නම්, ඔවුන් (විනයනය කරනු කැමැති ජනයන්) ගේ අදහස් වශයෙන් ම අටළොසක් ම වදාළහ.

 

“සඞ්ඛෙපවිත්‍ථාරනයෙන තථා තථා හි

ධම්මං පකාසයති ඵස යථා යථා‘සස

සද්ධම්මතෙජවිහතං විලයංඛණෙන

වෙනෙය්‍ය සත්තහදයෙසු තමො පයාතී”

 

‘ඒ බුදුහු යම් යම් පරිද්දෙන් සදහම් තෙදින් වෛනෙය ජනයන් ගේ චිත්ත සන්තානයෙහි මෝහාන්ධකාරය ඇසිල්ලෙකින් විනාශයට පැමිණේ නම් ඔවුනට ඒ ඒ සංඛෙප-විස්තාර නයින් ධර්‍මය දෙසන සේක.

 

මෙසේ තාවත් ප්‍ර‍මාණයෙන් විනිශ්චය දතයුතු.

 

(5) සක්‍ඛ්ඛ්‍යා වශයෙන් චක්ඛුධාතුව ශ්‍රෝත්‍ර‍ ධාතු ආදියට පළමුවැ ජාති වශයෙන් චක්ඛුප්පසාද වශයෙන් එකම ධර්‍මයෙකැයි ව්‍යවහාරයට යේ. ශ්‍රෝත්‍ර‍-ඝ්‍රාණ-ජිව්හා-කාය-රූප-ශබ්ද-ගන්‍ධ-රස-ධාතුහු ද එසේ ම ශ්‍රෝත්‍ර‍ප්‍ර‍සාදාදි වශයෙන් එකම ධර්‍මයෙකැ යි ව්‍යවහාරයට යෙති.

 

ඵොට්ඨබ්බධාතුව වනාහි පෘථිවි - තේජස් - වායු වශයෙන් ධර්‍ම තුනෙකැයි ව්‍යවහාරයට යේ.

 

චක්ඛුවිඤ්ඤාණධාතුව, කුසල විපාක-අකුශල විපාක වශයෙන් ධර්‍ම දෙකෙකැ යි ව්‍යවහාරයට යේ. සොත - ඝාණ - ජිව්හා - කාය විඤ්ඤාණධාතු ද එසේම කුසලා‘කුසල විපාක වශයෙන් ධර්‍ම දෙකෙකැ යි ගණයට යේ. මනෝධාතුව වනාහි පඤ්චද්‍වාරාවජ්ජනය, කුසලා‘කුසල විපාක සම්පටිච්ඡනය යන මොවුන් ගේ වශයෙන් ධර්‍ම තුනෙකැයි ව්‍යවහාරයට යේ.

 

ධර්‍ම ධාතුව වනාහි, වේදනා-සඤ්ඤා-සඞ්ඛාර යන ත්‍රිවිධ අරූපස්කන්ධ යැ. ෂෝඩශවිධ (16) සුඛුම රූපයැ, අසඞ්ඛත ධාතුයැ, යන මොවුන් ගේ වශයෙන් විංශනි (20) ධර්‍මයෙකැයි ව්‍යවහාරයට යේ.

 

මනෝවිඤ්ඤාණ ධාතුව කුශල යැ. අකුශල යැ. අවශේශ අව්‍යාකෘත චිත්ත යැ යන මොවුන් ගේ වශයෙන් සසැත්තෑ (76) ධර්‍මයෙකැ යි ව්‍යවහාරයට යේ.

 

මෙසේ අටළොස් ධාතූන් ගේ සඞ්ඛ්‍යා වශයෙන් විනිශ්චය දතයුතු.

 

(6) ප්‍ර‍ත්‍යය වශයෙන් මෙසේයි: චක්ඛුධාතුව චක්ඛුවිඤ්ඤාණ ධාතුවට, විප්පයුත්ත-පුරෙජාත-අත්‍ථි-අවිගත-නිස්සය-ඉන්‍ද්‍රිය යන ෂට් ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

රූප ධාතුව, චක්ඛුවිඤ්ඤාණ ධාතුවට, පූරෙජාත - අත්‍ථි - අවිගත - ආරම්මණ යන ප්‍ර‍ත්‍යයන් ගේ වශයෙන් සිවු ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

සෝතවිඤ්ඤාණ ධාතු ආදියට, සෝතධාතු - සද්දධාතු - ආදිය ද මෙසේ ම ප්‍ර‍ත්‍යය වේ. මේ චක්ඛුවිඤ්ඤාණාදි පසට පඤ්චද්වාරාවජ්ජන සඞ්ඛ්‍යාත ආවර්‍ජන මනෝධාතුව, අනන්තර - සමනන්තර - නත්‍ථි - විගත - අනන්තරූප නිස්සය වශයෙන් පස් ආකාරයෙකින් ප්‍ර‍ත්‍යය වේ.

 

සමපටිච්ඡන මනෝධාතුවට, චක්ඛුවිඤ්ඤාණාදි මේ පස මැ අන්තරාදි පස් ආකාරයෙන් ප්‍ර‍ත්‍යය වේ. සමපටිච්ඡන මනෝ ධාතුව, සන්තීරණ මනෝ විඤ්ඤාණ ධාතුවට ද, සන්තීරණ මනෝවිඤ්ඤාණ ධාතුව වොත්‍ථපන මනෝවිඤ්ඤාණ ධාතුවට ද, වොත්‍ථපන මනොවිඤ්ඤාණ ධාතුව ජවන මනොවිඤ්ඤාණ ධාතුවට ද පෙර කී පස් ආකාරයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

මුලින් වූ ජවන මනෝවිඤ්ඤාණ ධාතුව අනතුරු අනතුරු ජවන මනෝවිඤ්ඤාණ ධාතුවට යට කී පස් ආකාරයෙන් හා ආසේවන ප්‍ර‍ත්‍යයයෙන්දැ යි යන සය ආකාරයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

මේ පඤ්චද්වාරයෙහි ප්‍ර‍ත්‍යය ක්‍ර‍මය යි.

 

මනොද්වාරයෙහි වනාහි භවඞ්ග මනොවිඤ්ඤාණ ධාතුව ආවර්‍ජන මනොවිඤ්ඤාණ ධාතුවට ද, ආවර්‍ජන මනොවිඤඤාණ ධාතුව, ජවන මනොවිඤ්ඤාණ ධාතුවට ද පෙර කී පඤ්චවිධ ප්‍ර‍ත්‍යයෙන් මැ ප්‍ර‍ත්‍යය වේ.

 

ධම්මධාතුව වනාහි, සප්ත විඤ්ඤාණ ධාතුන්ට මැ සහජාත-අඤ්ඤමඤ්ඤ-නිස්සය-සම්පයුත්ත-අත්‍ථි-අවිගත ආදීන් ගේ වශයෙන් බහුප්‍ර‍කාරයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

(ආදි ශබ්දයෙන් මනෝවිඤ්ඤාණ ධාතුවම සුදුසු සේ හේතු - අධිපති - කර්‍ම - විපාක - ආහාර - ඉන්‍ද්‍රිය - ධ්‍යාන - මාර්‍ග ප්‍ර‍ත්‍යයන්ගෙන් සංග්‍ර‍හ වේ.)

 

විශේෂ :- චක්ඛුධාතු ආදිය ද, ඇතැම් සූක්‍ෂ්ම රූප-නිර්‍වාණ ධාතු ආදි ධර්‍මධාතු ද ඇතැම් මනොවිඤ්ඤාණ ධාතූන්ට (ද්විපඤ්ච විඤ්ඤාණ ධාතුව හැර) ආරම්මණ ප්‍ර‍ත්‍යායාදියෙන් ප්‍ර‍ත්‍යය වේ. චක්ඛුවිඤ්ඤාණ ධාතු ආදියට හුදෙක් චක්ඛු-රූපාදිය පමණක් ප්‍ර‍ත්‍යය නොවේ. වැලි ආලෝක ආදිය ද ප්‍ර‍ත්‍යය වේ.

 

එයින් කීහ. පෙරැජරෝ:- චක්ඛුප්පසාද, රූපාලම්බන ආලෝක, මනසිකාරයන් (පඤ්චද්වාරාවජ්ජන) නිසා චක්ඛු විඤ්ඤාණ සිත උපදියැ යි.

 

ශ්‍රෝත්‍ර‍, ශබ්ද, ග්‍රෝත්‍ර‍විවර (අවකාශ) මනසිකාරයන් නිසා සෝතවිඤ්ඤාණ සිත උපදී. ඝ්‍රාණ, ගන්‍ධ, ගන්‍ධ එළවන සුළඟ, මනසිකාරයන් නිසා ඝාණවිඤ්ඤාණ සිත උපදී. ජිව්හා රස, (ආහාර තෙමන)  ආප, මනසිකාරයන් නිසා ජිව්හා, විඤ්ඤාණ සිත උපදී. කාය, ස්පර්ශ, කායප්‍ර‍සාදයට නිශ්‍ර‍ය පඨවි, මනසිකාරයන් නිසා කායවිඤ්ඤාණ සිත උපදී. භවාඞ්ග චිත්ත, ධර්‍මාලම්බන, මනසිකාර යන මොවුන් නිසා මනෝවිඤ්ඤාණ සිත උපදී. මේ මෙහි සංක්‍ෂේපයයි. විස්තර වශයෙන් ප්‍ර‍ත්‍යය විභාගය, මතු පටිච්චසමුප්පාද නිර්‍දෙශයෙහි[514] පහළ වේ.

 

මෙසේ මේ ධාතු කථා නිර්‍දෙශයෙහි ප්‍ර‍ත්‍යය වශයෙන් විනිශ්චය දතයුතු.

 

(7) දතයුතු බැව් වශයෙන් සියලු ප්‍ර‍ත්‍යයෝත්පන්න ධාතූහු, පූර්‍වාන්ත - අපරාන්ත - සඞ්ඛ්‍යා - අතීත - අනාගත භාවයෙන් සිස් වූ හෙයින් ද, ධුව - සුභ - සුබ - ආත්මභාව ශුන්‍යතායෙන් ප්‍ර‍ත්‍යයන් අයත් පැවතුම් ඇති බැවින් ද, දැක්ක යුත්තාහ.

 

විශේෂ :- මේ අටළොස් ධාතු අතුරින් චක්ඛු ධාතුව බෙර ඇසක් මෙන් ද, රූප ධාතුව දණ්ඩක් මෙන් ද, චක්ඛුවිඤ්ඤාණ ධාතුව ශබ්දය මෙන් ද දතයුතු යැ.

 

එසේම චක්ඛු ධාතුව ආදාසතලයක් මෙන්ද, රූප ධාතුව මුහුණක් මෙන් ද, චක්ඛුවිඤ්ඤාණ ධාතුව මුඛ නිමිත්ත මෙන් ද, දත යුතු යැ.

 

චක්ඛුධාතුව උක්දඬු-තලඇට මෙන් ද, රූප ධාතුව මතුයෙහි වූ දණ්ඩ මෙන් ද, චක්ඛුවිඤ්ඤාණ ධාතුව ඉන් හටගන්නා ගිනි මෙන් ද දතයුතු.

 

චක්ඛුධාතුව ගිනිගානා දණ්ඩමෙන් ද, රූපධාතුව යන්ත්‍ර‍ - චක්‍ර‍ - යෂ්ටීන් මෙන් ද, චක්ඛුවිඤ්ඤාණ ධාතුව උක්පැණි තලතෙල් සේ ද දතයුතු.

 

චක්ඛුධාතුව ගිනිගානා දණ්ඩමෙන් ද, රූපධාතුව මතුයෙහි වූ දණ්ඩ මෙන්ද, චක්ඛුවිඤ්ඤාණ ධාතුව ඉන් හටගන්නා ගිනි මෙන් ද දතයුතු.

 

සෝතධාතු ආදීන්හි ද, මේ ක්‍ර‍මය මැයි.

 

මනෝධාතුව වනාහි ලැබෙන සැටියෙන් චක්ඛුවිඤ්ඤාණ ධාතු ආදීන්ට පඤ්චද්‍වාරාවජ්ජන මනෝධාතුව පෙරටුව යන්නාක් මෙන් ද, සම්පටිච්ඡන මනොධාතුව පසුව යන්නාක් මෙන් ද, දැක්ක යුතු ය. ධර්‍ම ධාතුවෙහි වෙදනාස්කන්ධය හුලක් මෙන් ද, රුජාවක් මෙන් ද, සංඥා, සංස්කාර, ස්කන්ධයෝ, වේදනා සල්ලයෙන් හටගත් රුජායෙන් ආතුර වූ රෝගියකු මෙන් ද, දත යුතුය.

 

තවද පෘථග්ජනයන්ගේ සංඥාව ආසා සඞ්ඛ්‍යාත දුක උපදවන හෙයින් සිස් මිටක් මෙන් ද, විපරීත වූ ආලම්බන සඞ්ඛ්‍යාත නිමිත්ත ගන්නා හෙයින් වල්මුවකු මෙන් ද, (පඹයා මිනිසෙකැයි වරදවා ගන්නා හෙයිනි) සංස්කාරයන් ප්‍ර‍තිසන්‍ධියෙහි ඇද බහාලන හෙයින් අඟුරු වළෙක හෙලාලන පුරුෂයන් මෙන් ද, ජාති දුක ලුහුබඳනා හෙයින්, රාජ පුරුෂයන ලුහුබඳනා ලද සොරුන් මෙන් ද, සියලු අනර්‍ථ එළවන්නා වූ ස්කන්ධ පරම්පරාවට හේතුවන හෙයින් විෂ වෘක්ෂ බීජයන් මෙන් ද, රූපස්කන්ධය නානාවිධ උපද්‍ර‍වයට නිමිති වන හෙයින් උරචක්‍ර‍මාලාවක් මෙන් ද දත යුතු ය.

 

අසඞ්ඛත ධාතු සඞ්ඛ්‍යාත නිර්‍වාණය වනාහි අමෘත වශයෙන් ද ශාන්ත වශයෙන් ද, නිර්‍භය වශයෙන් ද දත යුතු යි.

 

කුමක් හෙයින් ද යත්? සියලු අනර්‍ථය එළවන්නා වූ ජාත්‍යාදි විෂය ධර්‍මයන්ට ප්‍ර‍තිපක්ෂ හෙයිනි.

 

මනෝවිඤ්ඤාණ ධාතුව, අරමුණෙහි නියමයක් නැති හෙයින් වල් වඳුරකු මෙන් ද, දමනය නො කළ හැකි හෙයින් කුළු අසකු මෙන් ද, තමා කැමති අරමුණෙහි හෙන හෙයින් අහසෙහි ලූ දඬු කඩක් මෙන් ද, ලෝභ - ද්වේෂ - මෝහාදි නානා ප්‍ර‍කාර ක්ලේශ නමැති වේෂයෙන් යෙදෙන හෙයින් රඟමඬලෙක නළුවකු මෙන් ද දැක්ක යුතු ය.

මේ ධාතූන් ගේ විස්තර කථාවයි.

 

සාධු ජනයන් ගේ ප්‍රමෝදය පිණිස කළ “විශුද්ධි මාර්‍ගයෙහි”

ප්‍ර‍ඥාභාවනාධිකාරයෙහි, ආයතන-ධාතු නිර්‍දෙශ නම්

පසළොස් වන පරිච්ඡේද යි.


16 පරිච්ඡේදය

ඉන්‍ද්‍රිය - සත්‍ය නිර්‍දෙශය

 

ඉන්‍ද්‍රිය නිර්දේශය (1)

 

ධාතූන්ට අනතුරු වැ දක්වන ලද ඉන්‍ද්‍රියයෝ

1.  චක්ඛු ඉන්‍ද්‍රිය             12. සොමනස්ස ඉන්‍ද්‍රිය

2.  සොත ”                 13. දොමනස්ස   ”

3.  ඝාණ  ”                 14. උපෙක්ඛා    ”

4.  ජිව්හා ”                 15. සද්ධා    ”

5.  කාය  ”                 16. විරිය   ”

6.  ඉත්‍ථි  ”                  17. සති           ”

7.  පුරිස ”                  18. සමාධි   ”

8.  ජීවිත ”                  19. පඤ්ඤා   ”

9.  මන  ”                  20. අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය

10.     සුඛ  ”                     21. අඤ්ඤින්‍ද්‍රිය

11.     දුක්ඛ ”                     22. අඤ්ඤාතාවින්‍ද්‍රිය යැ යි

ද්වාවිසති (22) විධ ය

     

      එහි විභාගය

(1) අර්ථ වශයෙන් ද (4) භේද-අභේද වශයෙන් ද

(2) ලක්‍ෂණාදි වශයෙන් ද (5) කෘත්‍යය වශයෙන් ද

(3) ක්‍ර‍ම වශයෙන් ද (6) භූමි වශයෙන්දැ යි

සය ආකාරයකින් දත යුතුයි.

 

(1)     අර්ථ වශයෙන්

 

චක්‍ෂුරාදීන් ගේ අර්ථ යට ධාතු නිර්‍දෙශයෙහි[515] දැක්වී. පසුවැ කී තුනින් පළමුවන, (20) අනඤ්ඤාතඤ්ඤාස්සාමිතින්‍ද්‍රියපෙරැ (මාර්‍ගාවබෝධයෙන්) නො දත් අමෘත නිර්‍වාණ පදය හෝ චතුස්සත්‍ය ධර්‍මය දැනගන්නෙමි’යි මෙසේ පිළිපන් යෝගාවචරයාහට උපදනා හෙයින් ද, ඉන්‍ද්‍රියාර්‍ථ සම්භව හෙයින් ද, සෝවාන් මාර්‍ගඥානය, අනඤ්ඤාතඤ්ඤාස්සාමිතින්‍ද්‍රිය යි කියනු ලැබේ.

 

දෙවැනි (21) අඤ්ඤින්‍ද්‍රිය, පෙරැ සෝවාන් මගින් පිරිසිඳ දන්නා ලද සීමාව නො ඉක්ම චතුස්සත්‍යය නැවත දක්නා හෙයින් ද, ඉන්‍ද්‍රියාර්‍ථ සම්භව හෙයින් ද, සෝවාන් ඵලයේ පටන් අර්‍හත් මාර්‍ගය තෙක් මාර්‍ග-ඵල ඥාන අඤ්ඤින්‍ද්‍රිය නම් වේ.

 

තෙවැනි (22) අඤ්ඤාතාවින්‍ද්‍රිය චතුස්සත්‍යය පිළිබඳ කෙළවර කළ ඥානකෘත්‍යය ඇති ක්‍ෂීණාශ්‍ර‍වයන් වහන්සේට උපදනා හෙයින් ද, ඉන්‍ද්‍රියාර්‍ථ සම්භව හෙයින් ද, අර්‍හත්ඵල ඥානය අඤ්ඤාතාවින්‍ද්‍රිය නම් වේ.

 

ඉන්‍ද්‍රිය ශබ්දාර්ථ

 

      (අ) ඉන්‍ද්‍ර‍ නම් වූ කර්‍මය හගවන්නා වූ ස්වභාවය ඉන්‍ද්‍ර‍යැ යි කියන ලද කර්‍මය හැඟවීමට කරුණු වූයේ හෝ ඉන්‍ද්‍රියාර්ථ යැ.

     

      (ඉ) ඉන්‍ද්‍ර‍ නම් වූ භාග්‍යවතුන්වහන්සේ විසින් දේශනා කළ ස්වභාවය හෝ ඉන්‍ද්‍රියාර්ථ යැ.

 

      (උ) ඉන්‍ද්‍ර‍ නම් භාග්‍යවතුන්වහන්සේ විසින් දන්නා ලද ස්වභාවය හෝ ඉන්‍ද්‍රියාර්ථ යැ.

 

      (එ) ඉන්‍ද්‍ර‍ නම් වූ කර්‍මය විසින් නිපදවන ලද ස්වභාවය හෝ ඉන්‍ද්‍රියාර්ථ යැ.

 

      (ඔ) ඉන්‍ද්‍ර‍ නම් වූ භාග්‍යවතුන්වහන්සේ විසින් සෙවුනා ලද ස්වභාවය හෝ ඉන්‍ද්‍රියාර්ථ යැ. මේ සියලු අර්‍ථයෝ මැ ඉන්‍ද්‍රියාර්‍ථයෙහි සුදුසු පරිදි යෙදෙති.

 

      ඒ මෙසේයි :- (අ-එ) අර්‍ථයන්හි කර්‍මජ වූ චක්ෂුරාදි ඉන්‍ද්‍රියයනට කාරණ වූ කුශලා‘කුශල කර්‍ම දක්වයි.

 

(ඉ.උ.ඹ) යන තුන් තන්හි ඉන්‍ද්‍ර‍ ශබ්දය භාග්‍යවතුන් වහන්සේ ඇරැ දක්වයි.

 

විස්තර :- කුශලා‘කුශල කර්‍මද (ඒ කෙරෙහි කිසිවකුගේ ඊශ්වරත්‍වයක් නැති හෙයින් ඉන්‍ද්‍ර‍ නමි. එහෙයින් මැ මෙහි ‘කර්‍මයෙන් නිපන් චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයෝ ‘කුශලා’ කුශල කර්‍මය ප්‍ර‍කාශ කෙරෙත්නුයි. හෝ ‘ඒ කර්‍මය විසින් උපදවන ලද්දාහු නුයි’ ඉන්‍ද්‍ර‍ලිඞ්ගාර්‍ථයෙන් හා ඉන්‍ද්‍ර‍ ශිෂටාර්‍ථයෙන් ඉන්‍ද්‍රිය නම් වෙති. මේ අර්‍ථයෙන් චක්‍ෂුරාදි කර්‍මජ ඉන්‍ද්‍රියයෝ මැ ගැනෙති. සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ පරමේශ්වර හෙයින් ඉන්‍ද්‍ර‍ නම් වන සේක. මේ දෙවිසි ඉන්‍ද්‍රියයෝ මැ භාග්‍යවතුන් වහන්සේ විසින් තතු වූ පරිදි ප්‍ර‍කාශ කරන ලද්දාහු ද වෙති. එහෙයින් මැ ඉන්‍ද්‍ර‍ දෙශිතාර්‍ථයෙන් හා ඉන්‍ද්‍ර‍දෘෂ්ටාරර්ථයෙන් ද, ඉන්‍ද්‍රිය නම් වෙති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ඇතැම් ඉන්ද්‍රිය කෙනෙක් (භාවනා වශයෙන් පුරුදු නො කොට) අරමුණු කිරීම් වශයෙන් ද ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම් මාත්‍රයෙන් ද, ඇතැම් ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රිය කෙනෙක් (වැඩීම්) භාවනා වශයෙන් ද, පුරුද කරන ලදහු නුයි ඉන්‍ද්‍රිය නම් වෙති.

 

තවද ඊශ්වරාර්‍ථයෙන් ද ඉන්‍ද්‍රිය නම් වේ. චක්‍ෂුර්විඥානාදීන් ගේ පැවැත්මෙහි චක්‍ෂුරාදීන් ගේ අධිපති බව සිද්ධ ය. ඒ චක්‍ෂුරෙන්ද්‍රියාදිය තීක්ෂණ කල චක්‍ෂුර්විඥානාදිය ප්‍ර‍සන්න හෙයින් ද, දුර්‍වල වූ කල අප්‍ර‍සන්න හෙයින් ද, ඊශ්වරත්වය සිද්ධ ය. මේ අර්‍ථ වශයෙන් විනිශ්චය යි.

 

(2) ලක්‍ෂණාදි වශයෙන් ද, ලක්‍ෂණ - රස - ප්‍ර‍ත්‍යුපස්ථාන - පදස්ථාන වශයෙන් විනිශ්චය යට ස්කන්ධ නිර්‍දෙශයෙහි[516] කී පරිදි දත යුතුයි.

 

විශේෂ :- පඤ්ඤින්‍ද්‍රියාදි සතර ඉන්‍ද්‍රියයෝ වස්තු ධර්‍ම සතර දෙනෙක් නො වෙති. හුදෙක් එකමැ අමොහය මැයි. එහෙයින් එහි ලක්‍ෂණාදිය සංස්කාර ස්කන්ධ1 වර්‍ණනාදියෙහි කීසේ දතයුතු. සෙසු ඉන්‍ද්‍රියයෝස්කන්ධ නිර්‍දෙශයෙහි[517] ස්වරූපයෙන් මැ ආවාහු ය.

 

(3) ක්‍ර‍ම වශයෙන්, මෙද දේශනා ක්‍ර‍මය මැයි. ඔවුනතුරින් සෙසු ඉන්ද්‍රියයනට වඩා විදර්ශනාවට අධ්‍යාත්ම ධර්‍මයන් මැ මූලික වන හෙයින් ආත්මභාව පර්‍ය්‍යාපන්න වූ “චක්ඛුරින්‍ද්‍රියා” දිය පළමු කොට වදාළහ.

 

එයට අනතුරුවැ ස්ත්‍රීය, පුරුෂය යි ව්‍යවහාරයට හේතු වන හෙයින් ස්ත්‍රී - පුරුෂේන්‍ද්‍රිය වදාළහ.

 

එම ඉන්ද්‍රිය දෙකම ජීවිතේන්‍ද්‍රියය ප්‍ර‍තිබද්ධව හටගන්නා බව දක්වනු පිණිස එයට අනතුරු වැ ජීවිතේන්‍ද්‍රිය වදාළහ.

 

ජීවිතේන්‍ද්‍රිය පවත්නා තෙක්ම වේදනාව පවත්නා හෙයින් ඒ සියලු වේදනාව දුක බව් හැඟවීම සඳහා එයට අනතුරුව සුඛේන්‍ද්‍රියාදි වේදනාව වදාළහ.

 

ඒ වේදනා ඉන්‍ද්‍රියයා ගේ නිරුද්ධ කිරීම පිණිස වැඩිය යුතු ප්‍ර‍තිපත්ති ධර්‍මයන් දැක්වීම සඳහා එයට අනතුරුවැ ශ්‍ර‍ද්ධාදි ඉන්‍ද්‍රිය වදාළහ.

 

ඒ ප්‍ර‍තිපත්තියෙන් ප්‍ර‍ථමකොට පහළ වන ධර්‍මය හා ප්‍ර‍තිපත්තියේ නො සිස් බව් හැඟවීම සඳහා එයට අනතුරුවැ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වදාළහ.

 

එහි මැ ඵලය බැවින් හා එහි ද නො සිස් බව් හැඟවීම සඳහා එයට අනතුරුවැ අඤ්ඤින්‍ද්‍රිය වදාළහ.

 

ඉන් මත්තෙහි භාවනාවෙන් අධිගමය වන ධර්‍මය හා ඉන්පසු ස්වල්ප වූ ද විදර්‍ශනා කෘත්‍යයක් නැති බව් හැඟවීම සඳහා අවසානයෙහි උතුම් ආස්වාදය වූ අඤ්ඤාතාවින්‍ද්‍රිය වදාළහ. මේයැ දේශනා ක්‍ර‍මය.

 

මේ ක්‍ර‍ම වශයෙන් විනිශ්චය යි.

 

(4) භේදා භේද වශයෙන්, මේ දෙවිසි ඉන්‍ද්‍රියයන් අතුරින් ජීවිතේන්‍ද්‍රියය, නාම-රූප වශයෙන් ද්විභේද වන්නේ යි. සෙසු ඉන්‍ද්‍රියයෝ භේද නැත්තාහ.

 

ප්‍ර‍ශ්නයෙකි - මෙහි වේදනා සුඛාදි වශයෙන් ද ප්‍ර‍ඥාව පඤ්ඤින්‍ද්‍රියාදි වශයෙන් ද, භින්න වැ වදාරන ලද්දේ නො වේද

 

පිළිතුර :- නොවේ. වදාරන ලද දෙවිසි ඉන්‍ද්‍රියයන් ගේ භේද හා අභේද අදහස් කරන ලද හෙයිනි.

 

මේ භේදා‘භේද වශයෙන් විනිශ්චය යි.

 

(5) කෘත්‍ය වශයෙන්, “චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණ ධාතුයා තංසමුට්ඨානානං ච රූපානං ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො”[518] ‘චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණ ධාතුවට හා තත් සමුත්‍ථාන රූපයනට ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ’ යැයි වදාළ හෙයින් මෙහි කෘත්‍යය වශයෙන් ගනු ලබන්නේ ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යයභාවය සිද්ධ වූ කෘත්‍යය මැයි. ඒ කෘත්‍යයා ගේ අනන්‍ය සාධාරණ බව හා ඉන්‍ද්‍රියාර්‍ථයා ගේ ස්ථානය ද වූ හෙයිනි.

 

(ජනකත්‍වය හෝ උපස්තම්භකත්වය හෝ අනුපාලකත්‍වය හෝ ඇත්තාහු මැ ප්‍ර‍ත්‍යයෝ යි.)

 

චක්‍ෂුඃප්‍ර‍සාදාදීන් ගේ තීක්ෂණ මන්‍දාදිභාවය අනුවැ චක්‍ෂුර් විඥානාදිය තීක්ෂණ මන්‍දාදිභාවයට පැමිණවීම් වශයෙන් තමා ගේ ආකාරයට පමුණුවන ස්වභාවය ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යයභාවය යැ. මේය එහි කෘත්‍ය ය.

 

එහෙයින් මැ චක්‍ෂුරින්‍ද්‍රියයා ගේ රූපාලම්බනය හා ගැටීමට යෝග්‍යතාවය නැති කල චක්‍ෂුර්විඥානයා ගේ දර්‍ශන කෘත්‍යය සිද්ධ නොවේ.

 

ශ්‍රෝත්‍ර‍ - ඝ්‍රාණ - ජිහ්වා - කාය යන්ගේ කෘත්‍යය ද, එසේ මැයි. මනින්‍ද්‍රියයා ගේ වනාහි සහජාත ධර්‍මයන් තමා ගේ වශයෙහි පැවැත්වීමෙන් ඊශ්වරත්‍වය වේ. ඒ වූකලී පූර්‍වඞ්ගම වීම් වශයෙනි.

 

ජීවිතින්‍ද්‍රියයාගේ සහජාත ධර්‍මයන් පාලනය කිරීම කෘත්‍යය යැ. සහජාත නාම-රූප ධර්‍මයන් පාලනය කිරීම ජිවිතෙන්‍ද්‍රියයා ගේ ඊශ්වරත්‍වය වේ.

 

ලිඞ්ග-නිමිත්ත-කුන්ත-ආකප්ප යන ආකාර රචනා කිරීම ස්ත්‍රීන්‍ද්‍රිය-පුරුෂෙන්‍ද්‍රියයන් ගේ කෘත්‍යය යැ.

 

(මේ ද්වාවීසති ධර්‍මයන් ගේ ඉන්‍ද්‍රියත්වය නම් ජනකත්‍වය හා උපස්තම්භකත්‍වය යැ. ඒ ලක්‍ෂණයෙන් යුක්ත වූ ඉන්‍ද්‍රියයෝ විස්සෙ (20) කි. මේ ‘භාවඉන්‍ද්‍රිය’ දෙක පෙර කී ලිඞ්ගාදියට ජනකත්‍වයක් හෝ උපස්තම්භකත්වයක් නැත්තේ ය. එහෙත් කර්‍මාදි අන්‍ය ප්‍ර‍ත්‍යයයෙන් උපදනා රූපයනට ස්ත්‍රී-පුරුෂ ආකාර ගැනීම මොවුන් ගේ කෘත්‍යය යි.)

 

සහජාත ධර්‍මයන් මැඩගෙන තම තමා අයත් ඖදාරිකාකාරයට පැමිණවීම සුඛ-දුඃඛ-සොමනස්ස-දොමනස්ස වේදනාවන් ගේ කෘත්‍යය යි. සහජාත ධර්‍මයෝ ද, ඔවුන්ගේ වශයෙන් සැප-දුක් ආදි ස්වභාවයට පැමිණියාක් මෙන් වෙති.

 

උපෙක්ඛා ඉන්‍ද්‍රියය ශාන්ත ප්‍ර‍ණීත බවට හෝ මධ්‍යස්ත ආකාරයට පැමිණවීම් කෘත්‍යය යැ.

 

අස්සද්ධියාදි ප්‍ර‍තිපක්ෂ ධර්‍ම මැඩපැවැත්වීම හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් ශාන්ත ආකාරාදියට පැමිණවීම ය, උපස්තම්භාකාරය, එළඹසිටි ආකාරය, මොනවට පිහිටි ආකාරය, ස්වභාව දක්නා ආකාරය, යන මේවාට පැමිණවීම පිළිවෙලින් ශ්‍ර‍ද්ධාදි පඤේචන්‍ද්‍රියයන් ගේ කෘත්‍යය යි.

 

සක්කායදිට්ඨි ආදි ත්‍රිවිධ සංයෝජනයන් ප්‍ර‍හාණය කිරීම හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් ඒ ප්‍ර‍හාණයට අභිමුඛ කිරීම ද, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියයා ගේ කෘත්‍යය යි.

 

කාමරාග-ව්‍යාපාදාදි සංයෝජනයන්ගේ තුනී කිරීම ද, ප්‍ර‍හාණය කිරීම ද, සහජාත ධර්‍මයන් තමා ගේ වශයෙහි පැවැත්වීම ද, මාර්‍ග සම්ප්‍ර‍යුක්ත අඤ්ඤින්‍ද්‍රියයා ගේ කෘත්‍යය යැ.

 

ඵලසම්ප්‍ර‍යුක්ත අඤ්ඤින්‍ද්‍රිය ය ඒ ඒ සංයෝජනයන් පටිප්පස්සද්ධි වශයෙන් ප්‍ර‍හාණය කිරීම කෘත්‍යය යි.

 

(පරිඤේඤය්‍ය - පහාතබ්බ - භාවෙතබ්බ - සච්ඡිකාතබ්බ ධර්‍මයන් පරිඤ්ඤාණ - පහාණ - භාවනා - සාක්‍ෂාත්කරණ යන සියලු කෘත්‍යය ඇති හෙයින් අනෙක් කළමනා කෘත්‍ය නැති.)

 

අඤ්ඤාතාවින්‍ද්‍රියය අමෘතාභිමුඛවීම් හා සහජාත ධර්‍මයන්ගේ අමෘතාභිමුඛ භාවයට ප්‍ර‍ත්‍යයවීම් ද, කෘත්‍යය යැ. සෙස්සවුන් මෙන් අනෙක් කෘත්‍යයෙහි නුපුරුදු බවද වේ.

 

මේ කෘත්‍ය වශයෙන් විනිශ්චය යි.

 

(6) භුමි වශයෙන් චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය-ඉත්‍ථි-පුරිස-සුඛ-දුක්ඛ-දෝමනස්ස යන මේ ඉන්‍ද්‍රියයෝ කාමාවචරහ.

 

මතින්‍ද්‍රිය - ජීවිතින්‍ද්‍රිය - උපෙක්ඛා ඉන්‍ද්‍රියයෝ ද, සද්ධා - විරිය - සති - සමාධි - පඤ්ඤා ඉන්‍ද්‍රිය යෝද චාතුර්භූමිකයෝ ය.

 

සෝමනස්සින්‍ද්‍රිය ය කාම-රූප-ලෝකෝත්තර භූමිත්‍ර‍ය පර්‍ය්‍යාපන්න යැ. අවසන්හි කියූ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියාදි තුන ලෝකෝත්තර මැයි.

 

මේ මෙහි භූමි වශයෙන් විනිශ්චය යි.

 

ටීකාගත විස්තරයෙකි.

 

ප්‍ර‍ශ්න :- ඉන්‍ද්‍රිය දෙවිස්සක් වදාරන ලද්දේ කවර හෙයින්ද

 

පිළිතුර :- ඊශ්වරත්ව සඞ්ඛ්‍යාත පරමාධිපති භාවය කරන ධර්‍ම මෙතෙක් හෙයිනි.

 

ප්‍ර‍වෘත්ති :- “ඡස්සුලොකො සමුප්පන්නා”[519] යි වදාළ පරිදි පැවැත්මට (මූල) නිශ්‍ර‍ය වූ අධ්‍යාත්මිකායතන සය මුල් වේ.

 

එයට උත්පත්ති හේතු වූ (ස්ත්‍රී-පුරුෂ ඉන්‍ද්‍රියද්වය) විසභාග වස්තු සංරාගයෙන් බෙහෙවින් උපදනා හෙයින් අනතුරු වැ භාවඉන්‍ද්‍රිය ද, ඔවුන්ගේ පැවැත්ම ජීවිතින්‍ද්‍රියයෙන් වන හෙයින් ආයු-ඨිති-යපනා-යාපනාදීන් ජීවිතින්‍ද්‍රියය ද,

 

ඉෂ්ටාදි සියලු විෂය රස විඳීම වේදනා වශයෙන් වන හෙයින් අනතුරු වැ වේදනාවදැයි මෙසේ පැවැත්මට නිශ්‍ර‍ය-සමුත්පාද-ස්ථිති-සම්භොග දැක්වීම සඳහා චක්ඛුන්‍ද්‍රිය යෙහි සිට උපෙක්ඛින්‍ද්‍රිය තෙක් තුදුස් ඉන්‍ද්‍රිය වදාළහ. එසේම පැවැත්මට හේතු වූ ශ්‍ර‍ද්ධාදි සෙසු ඉන්‍ද්‍රිය වදාළහ. නිර්‍වාණ නිශ්‍රිත කොට උපදවන ලද ශ්‍ර‍ද්ධාදි පඤ්චෙන්‍ද්‍රියයෝ නිවෘත්තියට නිශ්‍ර‍යහ.

 

අනඤ්ඤාතාඤ්ඤස්සාමීතින්‍ද්‍රිය යෙන් විවට්ට වශයෙන් පළමුව ඉපැත්ම ද, විවට්ටයා ගේ අවස්ථානය අඤ්ඤින්‍ද්‍රියෙන් ද, උපභෝගය අඤ්ඤාතාවින්‍ද්‍රියයෙන්දැ යි මෙසේ මේ ඉන්‍ද්‍රියයන් මැ දෙසූහ.

 

මෙතෙකින් අභිප්‍රේතාර්‍ථ සිද්ධිය වන හෙයින් අන්‍යයන් ගේ නොදැක්වීම වේ. මෙයින් මැ මොවුන් ගේ දේශනා ක්‍ර‍මය ද වර්‍ණනා කරන ලදී.

 

“සංවේ බහුල යති - ඉඳුරු සංවරැ පිහිටා

ඉඳුරන් සුපිරිසිඳ දැන - දුකු කෙළවර කරන්නේ”

 

මේ ඉන්‍ද්‍රියයන් ගේ විස්තර කථාව යැ.

 

ඉන්‍ද්‍රිය නිර්‍දෙශය නිමියේ ය.


සත්‍ය නිර්‍දෙශය (2)

 

(ධාතුවිභඞ්ගයෙහි දක්වන ද ධාතු නිර්දේශයට අනතුරු වැ (සත්‍ය විභඞ්ගයෙහි ආ) සත්‍ය නිර්දේශ දක්වනු ලැබේ.

 

එය අභිධර්‍ම භාජනියෙහි[520] හුදු සත්‍ය ශබ්දයෙන් ආර්‍ය්‍ය සත්‍යයම දක්වන ලද හෙයින් “සචචානීති චත්තාරි අරියසච්චානි[521] යි කීහ. හේ

 

(1) දුඃඛාර්‍ය්‍ය සත්‍යය

(2) දුඃඛසමුදයාර්‍ය්‍ය සත්‍යය

(3) දුඃඛනිරොධාර්‍ය්‍ය සත්‍යය

(4) දුඃඛනිරොධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍ය සත්‍යයැයි චතුර්විධ වේ.

(විදර්‍ශනාවට භූමි වූ හෙයින් හෝ ආර්‍ය්‍යසත්‍ය යැයි කීහු.)

(1) සත්‍යාර්‍ථ විභාග වශයෙන් ද,

(2) නිර්වචන වශයෙන් ද,

(3) ලක්‍ෂණාදීන් ගේ ප්‍රභේද වශයෙන් ද,

(4) සාමාන්‍ය අර්‍ථ වශයෙන් ද,

(5) අර්‍ථ උදුරා දැක්වීම් වශයෙන් ද,

(6) අඩු වැඩි නොවීම් වශයෙන් ද,

(7) ක්‍ර‍ම වශයෙන් ද,

(8) ජාති ආදීන් ගේ නිශ්චය වශයෙන් ද,

(9) ආර්‍ය්‍ය සත්‍යාගත ඥාන කෘත්‍ය වශයෙන් ද,

(10)    ධර්‍මයන් ගේ ප්‍රභේද වශයෙන් ද,

(11)    උපමා වශයෙන් ද,

(12)    චතුෂ්ක වශයෙන් ද,

(13)    ශුන්‍යතා වශයෙන් ද,

(14)    එකවිධාදීන් ගේ ප්‍රභේද වශයෙන් ද,

(15)    සභාග වශයෙන් ද,

(16)    විසභාග වශයෙන් දැයි මෙසේ සොළොස් ආකාරයෙකින් එහි විනිශ්චය දතයුතු.

 

(1) විභාග වශයෙන් දුඃඛාදි චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ අර්‍ථ සතර - සතර බැගින් බෙදන ලදී. ඔවුන් ගේ සත්‍ය ස්වභාවය තථ, අවිතථ, අනඤ්ඤථ වශයෙන් ගැනේ.

 

දුඃඛාදීන් ඒ දුඃඛාදි ස්වභාවයන් මැ යුක්තවීම නොහොත් දුඃඛාදි ස්වභාවය නො ඉක්මවීම තථ (සත්‍ය) ස්වභාවය යි.

 

දුඃඛාදිය පිළිබඳ බාධකාදි ස්වභාවය නො ඉක්මවීම නොහොත් (දුඃඛාදිය සුඛාදියක් නො වීම) අවතථ නිබොරු භාවයයි.

 

දුඃඛාදිය අබාධකාදි අන්‍යාකාරයක නො පැමිණීම නොහොත් දුඃඛාදිය සමුදයාදි අන්‍ය සත්‍යයකට නො පැමිණීම අනඤ්ඤථ (නොවෙනස්) භාවය යි. සමුදයාදියෙහිදු මෙසේමැයි.

 

මෙසේ ත්‍රිවිධ සත්‍ය ස්වභාවයෙන් යුත් දුඃඛාදිය පිළිබඳ එසේ පවත්නා අර්‍ථයන් වෙන වෙනම බෙදා වදාළ පරිදි මෙසේයි. “දුකඛස්ස පීළනට්ඨො, සඞ්ඛතට්ඨො, සට්තාපට්ඨො, විපරිණාමට්ඨො, ඉමෙ චත්තාරො දුක්ඛස්ස දුක්ඛට්ඨා, තථ-අවිතථා-අනඤ්ඤථා”[522]දුඃඛ සත්‍යයාගේ දුඃඛ දුඃඛතා නිමිත්තෙන් පෙළීම් අර්‍ථය, ප්‍ර‍ත්‍යයන් විසින් සකස් කරන ලද අර්‍ථය, තවන අර්‍ථය, ජරාමරණ දෙකින් පෙළීම් අර්‍ථය දැයි, මේ සතර දුඃඛයා ගේ තථ-අවිතථ-අනඤ්ඤථ ස්වභාවය වූ දුඃඛාර්‍ථයෝ යි.

 

“සමුදයස්ස ආයූහනට්ඨො, නිදානට්ඨො, සංයොට්ඨො, පළිබොධට්ඨො, ඉමෙ චත්තාරො සමුදයස්ස සමුදයට්ඨා තථ-අවිතථා-අනඤ්ඤථා”1 ‘දුක් උපදවන (රැස්කරරන) අර්‍ථය, මූලකාරණාර්‍ථය, සංසා වෘත්ත දුඃඛයෙහි යොදවන අර්‍ථය, මාර්‍ග ඵලාධිගමය වලකන අර්‍ථය ද, සමුදයයා ගේ සත්‍යාර්‍ථයෝ යි.

 

“නිරොධස්ස නිස්සරණට්ඨො, විවෙකට්ඨො, අඞ්ඛතට්ඨො-අමතට්ඨො ඉමෙ චත්තාරො නිරොධස්ස නිරොධට්ඨා, තථා-අවිතථා-අනඤ්ඤථා”[523] සංසාරයෙන් එතර කරන බවය, නිර්‍වාණාධිගමයට කාරණ බවය, නිර්‍වාණය හෝ චතුස්සත්‍යය දැකීම ය, සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ඊශ්වර බව හෝ ආරම්මණාධිපති බවය යන මොහු මාර්‍ගසත්‍යයා ගේ සත්‍යාර්‍ථයෝ යි.

 

විශේෂ :- (තවද) පීඩනාර්‍ථය, ප්‍ර‍ත්‍යයයෙන් කරන ලද අර්‍ථ ය, තවන අර්‍ථ ය, ප්‍ර‍කෘති ස්වභාව ය) හරණ අර්‍ථ ය. මාර්‍ගඥානයෙන් දතයුතු අර්‍ථ ය යන මොහු දුඃඛ සත්‍යයා ගේ අර්‍ථ විශේෂයෝ යි. මෙසේ මේ සතර - සතර අර්‍ථ වශයෙන් දුඃඛාදි චතුස්සත්‍යය දතයුතුයි.

 

මේ අර්‍ථ වශයෙන් විනිශ්චයයි.

 

(2) නිර්වචන වශයෙන් :- “දුක්ඛසච්චං” යන්නෙහි “දු” යන ශබ්දය (පිළිකුල් කටයුතු පුත්‍ර‍යාට ‘දූ පුත්ත’ යයි කියන්නා සේ) පිළිකුල් කටයුතු අර්‍ථයෙහි වැටේ.

 

“ඛ” යනු හිස් ය යන අර්‍ථයෙහි වේ. හිස් වූ අහසට “ඛ” යයි කියනු ලැබේ.

 

විස්තර :- මේ ප්‍ර‍ථම සත්‍යය අනේක උපද්‍ර‍වයන් ගේ පිහිටීමට ස්ථාන වන හෙයින් පිළිකුල් කටයුතු ය. අඥානයන් විසින් සලකන ලද ධ්‍ර‍ව-සුඛ-සුභ-ආත්මයන්ගෙන් හිස් හෙයින් තුච්ඡ ය. මෙසේ පිළිකුල් කටයුතු හිස් බැවින් යුත් හෙයින් “දුක්ඛ” යයි කියනු ලැබේ.

 

සමුදය = (සං + උ + අය) යන මෙහි “සං” යනු සමාගමය = (සං + ආගම) සමෙත = (සං + එත) යනාදීන්හි මෙන් එක්කිරීම් අර්‍ථයෙහි වේ.

 

උදය යන්නෙහි “උ” යනු උප්පන්න - උදිත යනාදීන්හි මෙන් හටගැනීම කියයි.

 

‘අය’ ශබ්දය හේතුව ප්‍ර‍කාශ කෙරේ.

 

මෙසේ දෙවෙනි සත්‍යය අන්‍ය ප්‍ර‍ත්‍යයන්ගෙන් යෙදීමක් ඇති කල්හි දුඃඛයා ගේ ඉපදීමට කාරණවන හෙයින් දුඃඛ සමුදයයි කියනු ලැබේ.

 

නිරෝධ = (නි + රොධ) මෙහි “නි” ශබ්දය අභාවාර්‍ථය කියයි. “රොධ” ශබ්දය හැසිරීම ප්‍ර‍කාශ කෙරේ. එබැවින් සංසාරයා ගේ හැසිරීම් සඞ්ඛ්‍යාත දුඃඛයා ගේ අනුත්පාද නිරොධ වශයෙන් නිරවශේෂයෙන් වැළැක්ම වේ. එය අධිගත කල්හි ඒ පුද්ගලයා ගේ ප්‍ර‍වෘත්තියට ප්‍ර‍තිපක්ෂ බැවින් හෝ දුඃඛ නිරොධයයි කියනු ලැබේ.

 

මග්ග (දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා) අරමුණු කිරීම් වශයෙන් ඒ නිරෝධයට අභිමුඛවැ හටගැනීම හෝ දුඃඛයා ගේ නිරුද්ධ කිරීම වූ නිර්‍වාණය කරා පැමිණීමේ ප්‍ර‍තිපත්තිය වන හෙයින් දුඃඛ නිරෝධ ගාමිනී ප්‍ර‍තිපදායැ යි කියනු ලැබේ.

 

මොවුහු බුද්ධාදි ආර්‍ය්‍යයන් ප්‍ර‍තිවේධ කරන හෙයින් ආර්‍ය්‍ය සත්‍යයහ යි කියනු ලැබේ.

 

එයින් වදාළහ.

 

“චත්තාරිමානි භික්ඛවෙ අරියසච්චානි, කතමානි චත්තාරි -පෙ- ඉමානි ඛා භික්ඛවෙ චත්තාරි අරිය සච්චානි. අරියා ඉමානි පටිවිජ්ඣනති, තසමා අරියසච්චානීති වුච්චන්ති”[524]

 

‘මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍ය සතරෙකි. -පෙ- මේ සතර ආර්‍ය්‍ය සත්‍යයෝ යැ ආර්‍ය්‍යයෝ මේවා ප්‍ර‍තිවේධ කරති. එහෙයින් ආර්‍ය්‍ය සත්‍යයහ යි කියනු ලැබෙත්.

 

විශේෂ :- (ප්‍ර‍තිවේධ කළ පසු ලැබෙන බුද්ධාදි ව්‍යවහාරය අනාගතාර්‍ථය අතීතයෙහි ආරෝපණය කොට උපචාර හෙයින් කී නියායි.) එසේමැ “අරියෙහි පටිවිජ්ජතබ්බානි සච්චාති. අරිය සච්චානි” යි ‘ආර්‍ය්‍යයන් විසින් ප්‍ර‍තිවේධ කටයුතු සත්‍යය ආර්‍ය්‍ය සත්‍යය’යි මධ්‍යපද ලෝපයෙන් කීහ. තවද ‘ආර්‍ය්‍යවූ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ සත්‍ය’නුයි හෝ ආර්‍ය්‍ය සත්‍ය නම් වේ.

 

එයින් වදාළහ.

 

“සදෙවකෙ භික්ඛවෙ ලොකෙ සමාරකෙ -පෙ- සදෙව මනුස්සාය පජාය තථාගතො අරියො. තස්මා අරියසච්චානීති වුච්චන්ති”[525]

 

‘මහණෙනි! දෙවියන් සහිත මරුන් සහිත ලෝකයෙහි -පෙ- දෙවිමිනිසුන් සහිත ප්‍ර‍ජාවෙහි තථාගතයන් වහන්සේ ආර්‍ය්‍ය නම් වන සේක. එහෙයින් ආර්‍ය්‍ය සත්‍යයහයි කියනු ලැබෙත්.”

 

තථාගතයන් වහන්සේ මේ ආර්‍ය්‍යසත්‍යයන් අවබෝධ කළ හෙයින් හෝ ආර්‍ය්‍ය නම් වන සේක.

 

එයින් වදාළහ :- “ඉමෙසං ඛො භික්ඛවෙ චතුත්තං අරිය සච්චානං අභිසම්බුදධත්තා තථාගතො අරහං සම්මා සම්බුද්ධො අරියොති වුච්චති”[526]

 

‘මහණෙනි, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කළ හෙයින් තථාගතයන් වහන්සේ ආර්‍ය්‍යයයි කියනු ලැබෙත්.

 

තවද තථ-අවිතථ-අනඤ්ඤථ වන හෙයින් ආර්‍ය්‍යවූම සත්‍යනුයි’ ආර්‍ය්‍ය සත්‍ය නම් වේ.

 

එයින් වදාළහ. “ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි අරිය සච්චානි තථානි අවිතථානි අනඤ්ඤථානි තසමා අරියසච්චානීති වුච්චනති”[527]

 

‘මහණෙනි, මෙම චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දුඃඛාදි ස්වභාව නො ඉක්මවන හෙයින් “තථයහ” ඒ දුඃඛාදිය එයට විරුද්ධ අදුඃඛාදිය නොවන හෙයින් “අවිතථය හ” දුඃඛාදිය සමුදයාදි අන්‍ය සත්‍යයකට නො පෙරළෙන හෙයින් “අනඤ්ඤථයහ”යි මෙසේ මේ ලක්‍ෂණයෙන් යුක්ත හෙයින් මේ සතර සත්‍යයෝ ආර්‍ය්‍ය සත්‍යයහයි කියනු ලැබෙත්.

 

මේය නිර්වචන නම්.

 

(3) ලක්‍ෂණාදිය.

 

දුඃඛසත්‍යය පෙළීම් ලක්‍ෂණය යැ. සත්ත්‍වයන් තැවීම් එහි කෘත්‍යය යැ. සංසාර වෘත්තයෙහි පැවැත්ම එහි වැටහෙන ආකාරය යි.

 

සමුදය සත්‍යය දුඃඛ ප්‍ර‍වෘත්ති ලක්‍ෂණය යැ. නිරන්තරයෙන් හටගැන්වීම එහි කෘත්‍යය යැ. සසරින් නික්ම යා නොදී වැළැක්වීම වැටහෙන ආකාරය යි.

 

නිරෝධ සත්‍යය ශාන්ති ලක්‍ෂණය යැ. චුත නොවීම එහි කෘත්‍යය යැ. පඤ්චස්කන්‍ධාදි නිමිති රහිත බව වැටහෙන ආකාරයයි.

 

වෘත්ත දුඃඛයෙන් නික්මීම මාර්‍ග සත්‍යයේ ලක්‍ෂණය. ක්ලේශවත් අනුත්පාද නිරෝධයෙන් ප්‍ර‍හාණය කිරීම එහි කෘත්‍යය යැ. පඤ්චොපාදානස්කන්ධයෙන් නැගී සිටීම වැටහෙන ආකාරය යි.

 

පැවැත්ම ය, පැවැත්වීම ය, නැවැත්ම ය, නැවැත්වීම යයි ද, ප්‍ර‍ත්‍යයයන් විසින් රැස්කිරීම ය. අරමුණෙහි ඇලීම ය, ප්‍ර‍ත්‍යයන් විසින් රැස් නො කිරීම ය, නිර්‍වාණය දැකීම ය, යන අර්‍ථයෝ ද ලක්‍ෂණය හ.

 

මෙසේ ලක්‍ෂණාදීන් විනිශ්චය දතයුතු.

 

(4) අර්‍ථ වශයෙන්

 

යම් ස්වභාවයක් ළංවැ නුවණින් (ඇති සැටි) පරීක්ෂා කරන්නහුට පිත්තල ස්වර්‍ණ සේ පැනෙන්නාක් මෙන් ඇති වස්තුවක් අන්‍ය වස්තුවක් සේ විපරීත වැ වැටහෙන මායාවක් මෙන් ද නොවැ, මිරිඟු දියක් මෙන් නැති දෙයක් ඇති සේ වැටහෙන මුළාවීමක් ද නොවැ, තීර්ථකයන් ගේ ආත්මය සේ පරමාර්‍ථ වශයෙන් නො ලැබෙන ස්වභාවයක් ද නොවැ, එකාන්තයෙන් පෙළීම ය, එයට හේතුව ය, සංසිඳීම ය, හික්මීම ය, යන ප්‍ර‍කාර ඇති අවිපරීත වූ විද්‍යාමාන ස්වභාවයෙන් ආර්‍ය්‍ය මාර්‍ගඥානයට හා ප්‍ර‍ත්‍යවේක්‍ෂාඥානයන්ට ගෝචර වනුයේ සත්‍යාර්‍ථ යි.

 

එය කිසි තැනෙක කෘෂ්ටාදි (උපාදාන) දැල්වීමට ගන්නා ද්‍ර‍ව්‍ය භෙදය ඇත ද, ගින්නෙහි උෂ්ණත්වය ස්වාභාවික ලක්‍ෂණය වන්නා සේ ද, ජාති-ජරා-මරණ ස්වභාවය ලෝකයෙහි ප්‍ර‍කෘතිය වන්නා සේ ද, ඇත්තා වූ ම අවිපරීත ස්වභාවය සත්‍යාර්‍ථය යි එයින් වදාළහ.

 

“ඉදං දුක්ඛන්ති භික්ඛවෙ තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං”[528]

 

‘මහණෙනි මේ දුකය යනු ස්වභාය යැ. බොරු නොවේ. වෙනස් නො වේ.

 

විස්තර:- දර - තණ - ගොම ආදි දැල්වෙන ද්‍ර‍ව්‍ය කුමක් වුවත් ගින්නෙහි උෂ්ණත්වය ස්වාභාවිකව පවතින්නාක් මෙන් ද, ලෝකයා ගේ ඉපදීම ජරා, මරණ යන ස්වභාවයන් හා මනුෂ්‍යයන්ගේ කෙළින් යාම තිරිසනුන්ගේ හරහට යාම ආදි ස්වභාව එකාන්තයෙන් ලෝකයෙහි එක සේ පවතී ද, සත්‍යාර්‍ථය ද එසේමැ යි.

 

(1) නාබාධකං යතොදුක්ඛං - දුක්ඛා අඤ්ඤං නබාධකං

බාධකත්තිනියාමෙන - තතොසච්චමිදං මතං

 

(2) තංවිනානාඤ්ඤතො දුක්ඛං - නහොතිනච ත තතො

දුක්ඛ හෙතු නියාමෙන - ඉතිසච්චං විසත්තිකා

 

(3) නාඤ්ඤානිබ්බාණ තො සන්ති - සන්තං නව නතංයතො

සන්තභාව නියාමෙන - තතොසච්චමිදං මතං

 

(4) මග්ගානඤ්ඤං න නීය්‍යානං - අනීයානො නචාපිසො

තච්ඡනීයාන භාවත්තා - ඉතිසො සච්චසම්මතො

 

(5) ඉතිතච්ඡා‘විපල්ලාස - භූතභාවං චතුසච්පි

දුක්ඛාදිසචවිසෙසෙන - සච්චඨං ආහුපණ්ඩිතා[529]

 

 

(1) නොපෙළනු නොවනුයෙන් - පෙළන අනෙකක් නැතියෙන්

එකතින් සත පෙළනුයෙන් - මෙ දුක් සස් ඉන් දතුයේ

 

(2) එ විනා අනෙකකින් - දුක නොවැ, ඉන්ම වනුයෙන්

දුක් හෙය බැවින් එකතින් - තණසස්[530] නමැයි දතුයේ

 

     

(3) නිවන හැර සැනසුම් - නැති එමැ සව් සකර දම්

සංසිඳුවනෙන් නියමින් - නිරොදසස්[531] යැයි දතුයේ

 

(4) මෙ මුත් පමුණන අන් - නැති, පමුණුවනු එමැ වේ

එකතින් පමුණුවනුයෙන් - මගසස්[532] විසින් දතුයේ

 

(5) මෙසේ සත් - නොපෙරැළි - පැවැති - සැබැවින් මෙ සතර

දුක් ඇහි නො වෙසෙන්නෙන් - පඩිහු සස් අරුතැයි යූ

 

      මෙසේ චතුස්සත්‍යයෙහි මැ සත්‍ය ස්වභාවය හා නො පෙරැළෙන ස්වභාවය සත්‍යාර්‍ථයැ යි වදාළහ.

 

මෙසේ විශේෂාර්ථ විනිශ්චය දතයුතු.

 

(5) අර්‍ථ උද්ධාර වශයෙන්

 

මේ සත්‍ය ශබ්දය නොයෙක් අර්‍ථයන්හි දක්නා ලැබේ. “සච්චං භණෙ න කුජෙඣය්‍ය”[533] ‘සැබූ තෙපුලක් කියන්නේ ය, නො කිපෙන්නේ ය’ යනාදි තන්හි වාක් සත්‍යයෙහි යැ.

 

“සච්චෙ ඨිතා සමණබ්‍රාහ්මණා” ‘මහණ බමුණෝ මුසාවාදයෙන් වැළකී සිටියහ.’ මෙහි මුසාවාදයෙන් වැළකීමෙහි යැ.

 

කසමානු සච්චානි වදන්ති නා නා - පවාදියාසෙ කුසලා වදානං” ‘අනෙක ප්‍ර‍කාර ප්‍ර‍වාදීන් ගේ මතයෙහි දක්‍ෂ ප්‍රාඥයෝ කුමක් හෙයින් මාගේ දෘෂ්ටිය සැබෑ යයි කියද්ද, මෙහි නියත දෘෂ්ටි සත්‍යයෙහි දක්නා ලැබේ.

 

“එකංගි සච්චං න දුතියමත්‍ථි”[534] සත්‍යය එකක්මය දෙවැන්නෙක් නැති.’ මෙහි පරමාර්‍ථ සත්‍යය වූ මාර්‍ගයෙහි හා නිර්‍වාණයෙහි යැ.

 

“චතුන්නං අරියසච්චානං කති කුසලා”[535] ‘චතුරාර්‍ය්‍ය සත්‍යය අතුරින් කුසල කොතෙක්ද, මේ ආර්‍ය්‍ය සත්‍යයෙහි යැ. මෙසේ අර්‍ථයන් ගේ උද්ධරණ වශයෙන් දේශනායෙහි ඒ ඒ තන්හි සත්‍ය ශබ්දයේ අර්‍ථ යෙදුනු පරිදි දතයුතු.

 

(6)     අනූනා‘ධික වශයෙන්

 

මෙහි නො අඩුවැ නො වැඩිවැ ආර්‍ය්‍ය සත්‍ය සතරක් මැ වදාළේ කවර හෙයින් ද

 

චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් පිටත්හි පරමාර්‍ථ සත්‍යයන් නො ලැබෙන බැවින් හා එක් සත්‍යයක්වත් පහ නො කළ හැකි බැවිනි.

 

එයින් වදාළහ.

 

“ඉධ භික්ඛවෙ අගච්ඡෙය්‍ය සමණො වා බ්‍රාහ්මණො වා නෙතං දුක්ඛං අරියසච්චං අහමෙතං දුක්ඛං අරියසච්චංඨපෙත්‍වා අඤ්ඤං දුක්ඛං අරියසච්චං පඤ්ඤා පෙස්සාමීති නෙතං ඨානං විජ්ජති”[536]

 

‘මහණෙනි මේ ලෝකයෙහි ශ්‍ර‍මණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘මේ ශ්‍ර‍මණ භවත් ගෞතමයන්’ වදාළ දුඃඛාර්‍ය්‍ය සත්‍යය දුඃඛාර්‍ය්‍ය සත්‍යය නොවේ. දුඃඛාර්‍ය්‍ය සත්‍යය අනෙකකි. මේ කියන ලද දුඃඛාර්‍ය්‍ය සත්‍යය හැර මම අන්‍ය වූ දුඃඛාර්‍ය්‍ය සත්‍යයක් පනවමියි, ප්‍ර‍තිවිරුද්ධව එන්නේ යැ, යන මේ කාරණය අවිද්‍යාමාන ය, යනාදිය හා

 

“යො හි කොචි භික්ඛවෙ සමණො වා බ්‍රාහ්මණො වා එවං වදෙය්‍ය. නෙතං දුක්ඛං පඨමං අරියසච්චං යං සමණෙන ගොතමෙන දෙසිතං අහමෙතං දුක්ඛං පඨමං අරියසච්චං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛං පඨමං අරියසච්චං පඤ්ඤාපෙස්සාමිති නෙතං ඨානං විජ්ජති2  ‘මහණෙනි! යම් කිසි ශ්‍ර‍මණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ශ්‍ර‍මණ භවත් ගෞතමයන් විසින් වදාළ මේ දුඃඛාර්‍ය්‍යසත්‍යය ප්‍ර‍ථමාර්‍ය්‍ය සත්‍යය නො වේ. මම මේ ප්‍ර‍ථම දුඃඛාර්‍ය්‍ය සත්‍යය ප්‍ර‍තික්‍ෂේප කොට අනෙක් ප්‍ර‍ථම දුඃඛාර්‍ය්‍ය සත්‍යයක් පනවමි’යි මෙසේ කියන්නේ ය. යන යමක් වේද එබන්දක් නො වේයයි, වදාළහ.

 

තවද වෘත්තදුඃඛයා ගේ පැවැත්ම වදාළ බුදුහු එයට හේතුවක් සමග ද (එසේම) වෘත්තදුඃඛයා ගේ නැවැත්ම එයට උපාය සමගද වදාළහ. මෙසේ මේ වෘත්තදුඃඛයාගේ පැවැත්ම හා එයට හේතුව ද, නැවැත්ම හා එයට උපාය ද යනු මෙපමණක්ම හෙයින් සතරක් ම වදාළහ.

 

එසේම පිරිසිඳ දතයුතු, ප්‍ර‍හීණ කළයුතු, ප්‍ර‍ත්‍යක්‍ෂ කළයුතු, වැඩියයුතු, ධර්‍මයන් ගේ වශයෙන් ද, තෘෂ්ණාවට අරමුණ ය. ඒ අරමුණෙහි ඇලෙන තෘෂ්ණාවය, තෘෂ්ණාව වැළැක්මය, එයට උපායය යන මොවුන් ගේ වශයෙන් දැයි මෙසේ නන් අයුරින් සතරක් ම වදාළහ.

 

මේ අනූනාධික වශයෙන් විනිශ්චය යි.

 

(7) ක්‍ර‍ම වශයෙන් :- මේද දේශනා ක්‍ර‍මය මැයි.

 

විශේෂ:- මෙහි ඖදාරික හෙයින් ද, සියලු සත්ත්වයනට සාධාරණ හෙයින් ද, දැනීමට පහසු හෙයින් ද, දුඃඛසත්‍යය පළමු කොට වදාළහ. එම දුඃඛසත්‍යයාගේ ම හේතු දැක්වීම සඳහා එයට අනතුරුවැ සමුදය සත්‍යය වදාළහ. ‘හේතු නිරෝධයෙන් ඵල නිරෝධය වේ ය’යි දැක්වීම සඳහා සමුදය සත්‍යයට අනතුරුවැ නිරෝධ සත්‍යය වදාළහ. නිරෝධයට පැමිණීමේ උපාය දැක්වීම සඳහා එයට අනතුරුවැ මාර්‍ග සත්‍යය වදාළහ.

 

තවද භවසුඛාස්වාදයෙහි ගැලුණු සත්ත්‍වයනට කළකිරීම් උපදවනු සඳහා දුඃඛසත්‍යය වදාළහ.

 

ඒ දුක අනුන් විසින් කරන ලද්දක් නො වෙයි. ඊශ්වර නිර්‍මාණාදි හේතුවෙන් වූවක් ද නොවේ. වැලි මේ හේතුවෙන් මැ වේ යයි ඒ දුකට අනතුරුවැ සමුදය සත්‍යය වදාළහ.

 

සමුදය සහිත දුකින් මැඩ පැවැත්වුණු හෙයින් සංවේගයට පැමිණ දුකින් නික්මීම සොයන්නා වූ සත්පුරුෂයනට නිශ්ශරණ දැක්වීමෙන් අස්වැසිලි උපදවනු පිණිස සමුදය සත්‍යයට අනතුරුව නිරෝධ සත්‍යය වදාළහ.

 

නිරෝධයට පැමිණෙනු පිණිස මග සොයන්නවුනට එයට අනතුරුවැ මාර්‍ග සත්‍යය වදාළහ.

 

ක්‍ර‍ම වශයෙන් විනිශ්චය මෙසේයි.

 

(8) ජාති ආදීන් ගේ නිශ්චය වශයෙන්: ආර්‍ය්‍ය සත්‍යයන් වදාරන භාග්‍යවතුන් වහන්සේ ඉපදීම දුකය, දිරීම දුකය, මරණය දුකය, සෝක, පරිදේව, කායික දුක, දොම්නස, දැඩි ආයාසය, යන මොහු ද අප්‍රියයන් හා එක්වීම ද, ප්‍රියයන්ගෙන් වෙන්වීම ද, කැමැති දැය නො ලැබීම ද, සැකෙවින් පඤ්ච උපාදාන ස්කන්‍ධයෝම ද දුක්යහ යි දුඃඛ නිර්දේශයෙහි[537] දොළොස් (12) ධර්මයක් ද,

 

පුනර්‍භවය ගෙන දෙන, සිත් අලවන, ඒ ඒ ස්ථානයෙහි ඇලෙන සුලු වූ යම් තෘෂ්ණාවක් වේ ද, ඒ වනාහි කාම තෘෂ්ණා, භවතෘෂ්ණා, විභවතෘෂ්ණායැ යි සමුදය නිර්දේශයෙහි1 ත්‍රිවිධ තෘෂ්ණාවක්ද,

 

ඒ තෘෂ්ණාව නිරවශේෂයෙන් නිරුද්ධ කිරීම වූ, බැහැර කිරීම වූ, මුදාහැරීම වූ, මිදීම වූ, ආලය නො කිරීම වූ, නිර්‍වාණ යැ යි මෙසේ නිරෝධ සත්‍යනිර්දේශයෙහි1 අර්‍ථ වශයෙන් එකම නිර්‍වාණයක් ද,

 

දුක්ඛ නිරොධගාමිනී ප්‍ර‍තිපදාර්‍ය්‍යසත්‍යය කවර ද සම්මා දිට්ඨිය - පෙ- සම්මාසමාධිය යිමාර්‍ග නිර්දේශයෙහි1 අෂ්ට (8) ධර්‍මයක් ද වදාළහ.

 

මෙසේ චතුස්සත්‍ය නිර්දේශයෙහි ජාති ආදි ධර්‍ම වදාළසේක. මේ ජාති ආදීන්ගේ නිශ්චයෙන්ද මෙහි විනිශ්චය දතයුතු.

 

ඒ මෙසේ යි:- මේ ජාති ශබ්දය “එකම්පිජාතිං ද්‍වෙපි ජාතියො[538] එක ජාතියක් ද, ජාති දෙකක් ද, යන මෙහි භවයෙහි ආයේය. “අත්‍ථි විසාඛෙ නිඝණ්ඨා නාම සමණජාති”[539] විසාකාවෙනි, නිඝණ්ඨ නම් ශ්‍ර‍මණ ජාතියෙක් ඇත. යන මෙහි නිකායයෙහි යැ. “ජාති ද්‍විහි ඛන්‍ධෙහි සංගහීත”[540] ජාතිය ස්කන්‍ධ දෙකකින් සංගෘහීත ය යන මෙහි සංඛත ලක්‍ෂණයෙහි යැ. “යං මාතුකුච්ඡිස්මිං. පඨමං චිත්තං උප්පන්නං. පඨමං විඤ්ඤාණං පාතුභූතං තදුපාදාය සාවස්ස ජාති”[541] මවුකුස පළමුවැ යම් ප්‍ර‍තිසන්‍ධි චිත්තයක් උපන්නේ නම් ප්‍ර‍තිසන්‍ධි විඥානයක් පහළ වී නම් ඒම ඔහුගේ ජාතිය වේ’ යන මෙහි ප්‍ර‍තිසන්‍ධියෙහි යැ. “සම්පති ආනන්‍ද ජාතො බොධිසත්තො”[542] ‘ආනන්‍දය! මව්කුසින් බිහි වූ බෝධිසත්ත්‍ව තෙමේ’ මෙහි ප්‍ර‍සූතියෙහි යැ. “අක්ඛිත්තො අනුපක්කුඨො ජාතිවාදෙන”[543] කුල වාදයෙන් බැහැර නො කරන ලද්දේ අවමන් නොකරන ලද්දේ ය’ මෙහි කුලයෙහි යැ. “යතොහං භගිනි අරිසාය ජාතියා ජාතො”[544] නැගණියනි? මම යම් කලෙක පටන් ආර්‍ය්‍ය ශීලයෙහි පිහිටියෙම් ද, මෙහි ආර්‍ය්‍ය ශිලයෙහි යැ.

 

මෙසේ මේ ජාති ශබ්දය අනේකාර්‍ථ වේ. මෙහි වනාහි මවු කුසල උපදනා සත්ත්‍වයන් ගේ පිළිසිඳීමෙහි සිට මවුකුසින් බිහිවීම තෙක් පැවැති ස්කන්‍ධයෙහි වේ. එයින් අන්‍ය ආකාරයකින් උපදනා සත්ත්‍වයන් ගේ ප්‍ර‍තිසන්‍ධි ස්කන්‍ධයෙහි මැ වේ යයි දතයුතු.

 

මේ වනාහි පර්‍ය්‍යාය (සම්මුති) කථායි. පරමාර්‍ථ වශයෙන් වනාහි ඒ ඒ තන්හි උපදනා ස්කන්‍ධයන් ගේ ප්‍ර‍ථම පහළවීම ජාති නමු.

 

එය ඒ ඒ භවයෙහි හටගැනීම් ලක්‍ෂණය යැ. එහි කෘත්‍යය දුක් එළවීම යැ. අතීත භවයෙන් මේ භවයෙහි හිස් නැගීම වැටහෙන ආකාරය යැ. දුක විස්තුරු බව එළවීම හෝ (ඵල) පච්චුපට්ඨානය යි.

 

කුමක් හෙයින් මේ ජාතිය දුක් වන්නී ද? නොයෙක් දුඃඛයනට වස්තුවන බැවිනි.

 

ඒ මෙසේයි:- දුක් නානාප්‍ර‍කාර යැ දුක්ඛ දුක්ඛ ය, විපරිණාමදුක්ඛය, සඞ්ඛාර දුක්ඛය, පටිච්ඡන්නදුක්ඛය, අපටිච්ඡන්නදුක්ඛය, පරියාය දුක්ඛ ය, නිප්පරියාය දුක්ඛ යයි එයසත් වැදෑරුම් වේ.

 

ඔවුනතුරින් කායික - චේතසික වේදනාව ස්වභාව වශයෙන් ද, නාම වශයෙන් ද දුක්වන බැවින් දුක්ඛ-දුක්ඛ නම් වේ.

 

සුඛවේදනාව තමා ගේ, පෙරැළීමෙන් දුක් ඉපදීමට හේතුවන බැවින් විපරිණාම දුක්ඛ නම් වේ.

 

උපෙක්ඛා වේදනාව ද සෙසු කාම - රූප අරූප යන භවත්‍රයෙහි ප්‍ර‍ත්‍යයයෙන් සකස් වූ ධර්මයන් ඉපදීමෙහි හා විනාශයෙහි පෙළෙන බැවින් සංස්කාර දුඃඛ නමි.

 

කන්රුදා, ඇස්රුදා, රාගයෙන් හටගන්නා දාහය, කායික චෛතසික ආබාධ අසා දතමනා හෙයින් හා උපක්‍ර‍ම අප්‍ර‍කට හෙයින් ද ප්‍ර‍තිච්ඡන්න දුඃඛ නමි. (අප්‍ර‍කට දුක්ඛය යි ද කියනු ලැබේ.)

 

දෙතිස් කම්කටොළ් ආදියෙන් හටගත් ආබාධ නොවි විචාරා මැ දතහැකි හෙයින් ද උපක්‍ර‍මය ප්‍ර‍කට හෙයින් ද අපටිච්ඡන්න දුඃඛ නමි. (ප්‍ර‍කට දුකයැයි ද කියනු ලැබේ.)

 

දුඃඛ-දුඃඛය හැර සෙසු ජාත්‍යාදි සියල්ල දුකට වස්තුවන හෙයින් පර්‍ය්‍යාය (අප්‍ර‍ධාන) දුඃඛ නම් වේ.

 

දුඃඛ-දුඃඛය යි කියන කායික චෛතසික දුඃඛ වේදනාව නිෂ්පර්‍ය්‍යාය දුඃඛ නම් වේ.

 

විශේෂ:- ජාතිපි දුක්ඛා, යනාදීන් විභඞ්ගයෙහි[545] ආ පරිදි ජාත්‍යාදිය විස්තර කරවනුවන් විසින් ඒ දුඃඛයන් අතුරින් ජාතිය, බාල පණ්ඩිත සූත්‍රාදියෙහි[546] අඞ්ගාර කාසූපමාදීන් වදාරන ලද්දේ අපායික දුඃඛයයි.

 

සුගතියෙහි ද මනුෂ්‍යලෝකයෙහි ගබ්හොක්කන්තික මූලාකාදි ක්‍ර‍මයෙන් උපදනා දුක දුඃඛ වස්තු බැවින් දුකයයි වදාළය.

 

ඒ මෙසේය:-

 

මේ සත්ත්‍වතෙමේ මවුකුස උපදනේ මහනෙල් පියුම් ආදියෙහි නූපදී. වැලි ආමාසයට යට පක්වාසයට උඩ උදරපටලකොඳු ඇට මැද ඉතා ගැහැට ඇති ඝනාන්‍ධකාර වූ පිත්-සෙම්-මල-මුත්‍රාදි කුණප ගඳින් පරිභාවිත වූ ඉතා දුගඳ වාතය හමන්නා වූ මව විසි හැවිරිදි නම් එතෙක් පැරැණි වැසිකිළියක් බඳු වූ හෙයින් අතිශයින් පිළිකුල් වූ කුක්‍ෂි ප්‍රදේශයෙහි කුණුමස්, කුණුකොමු, ගම්‍ඳොර ගවරවළ ආදියෙහි පණුවන් මෙන් උපදී. හෙතෙමේ එහි ඉපිද දසමසක් මුළුල්ලෙහි මවුකුස හටගත් තේජෝධාතුවෙහි උෂ්ණයෙන් පත්‍ර‍පුටකයෙක (වණඩුවෙක) පිසන බෙහෙතක් සේ පැසෙන්නේ සිටි පිඩක් සේ හුයනු ලබන්නේ යටිහක්කෙහි තබා හකුළාගත් අත් හා උක්කුටුකයෙන් හිඳිනන හෙයින් හකුළාගත් පා ඇතිවැ අධිමාත්‍ර‍ දුකක් අනුභව කෙරේ.

 

මේ ගර්‍භාවක්‍රානතී මූලක දුඃඛ යැ.

 

මෙසේ මවුකුස වසන සත්ත්‍වයා මව පය පැකිල වැටීම ය, යාම ය, හිඳීම ය, නැඟිටීම ය, පෙරැළීමය යනාදීන් රාසොඬකු අතට පැමිණි දික් ලොම් ඇති එළුවකුසේ ද, අභිතුණ්ඩිකයකු අතට පත් නයනි පැටවකු සේද, ඉදිරියට ඇදීම්, ඔබිනොබ ඇදීම්, යටිමුව කොට සෙලවීම් ආදි උපක්‍ර‍මයෙන් අධිමාත්‍ර‍ දුඃඛයට පැමිණේ. මව සිහිල් පැන් බොන කළ සීත නරකයෙහි උපන්නකු සේ ද, උණු කැඳ - බත් අනුභව කරන කල අගුරු වැස්සෙන් වටවූවකු සේ ද, තීව්‍ර‍ වූ දුකක් අනුභව කෙරේ.

 

මේ ගර්භපරිහරණ මූලක දුඃඛ යැ.

 

මුඪ ගර්‍භ වූ මවගේ මිත්‍රාමාත්‍ය සුහෘද්ජනයා විසුනුදු නුදුටව මනා රහස් පියෙස්හි සිඳිම්-පැළීම් ආදීණ් ඒ සත්ත්‍වයාහට යම් දුකෙක් (උපදීනම්) උපදනවා නම් ඒ ගර්‍භ විපත්ති මූලක දුඃඛ යැ.

 

වදන්නා වූ මවගේ කර්‍මජවාතයෙන් උර්‍ඩව පාදවැ අධඃශිරස්වැ පෙරළා නරක ප්‍ර‍පාතයක් බඳු වූ ඉතා භය ජනක යෝනි මාර්‍ගයට පමුණුවන සත්ත්‍වයාට අතිශයින් සම්බාධ වූ යොනි මුඛයෙන් යතුරු සිදුරකින් ඇදගන්නා හස්ති රාජයකුට සෙයින් ද සඞ්ඝාත පර්‍වතයෙන් සුණු කරනු බන නිරිසතකුට සේ ද, යම් දුකක් උපදී නම් ඒ විජායන මූලක දුඃඛ යැ.

 

ඉන්පසුවැ ශෝක කිරීම් පරිදේවනා කිරීම් ආදීන් තෙමේම තමහට වධබන්‍ධන කරගන්නා කල ද, අචෙලකව (නිර්‍වස්ත්‍ර‍) ව්‍ර‍තාදීන් හි ද, පඤ්චතාපාදි ව්‍ර‍තසමාදානයෙන් පරිතාපනාදියෙහිදී මෙන් හෝ ක්‍රෝධයෙන් ආහාර නො ගැනීම් ගෙන වැල් දැමීම් ආදීන් යම් දුකෙක් උපදී නම් ඒ ආත්මොපක්‍ර‍ම මූලක දුඃඛ යැ.

 

මෙරමා අතින් මැරීම්-බැඳීම් ආදි යම් දුකෙක් වේ නම් එය පරොපක්‍ර‍ම මූලක දුඃඛ යැ.

 

මෙසේ (ජාතී) ඉපදීම මෙකී තාක් දුක්ඛයට මූලකාරණ වේ.

 

එහෙයින් කියන ලදී.

 

(6)   ජායෙථ නො චෙ නරකෙසු සත්තො

      තත්‍ථග්ගිඳාහාදිකමප්පසය්හං

      අභෙථ දුක්ඛන්නු කුහිං පතිට්ඨං

      ඉච්චාහ දුක්ඛාති මුනීධ ජාති.

 

(7)   දුක්ඛං තිරෙච්ඡෙසු කසාපතොද

      දණ්ඩාභිඝාතාදි භවං අනෙකා

      යං තං කථා තත්‍ථ භවෙය්‍ය ජාතිං

      විනා තහිං ජාති තතොපි දුක්ඛං

 

(8)   පෙතෙසු දුක්ඛං පන ඛුප්පිපාසා

      වාතාතපාදිප්පභවං චිචිත්තං

      යස්මා අජාතස්ස න තත්‍ථ අත්‍ථි

      තස්මාපි දුක්ඛං මුනි ජාතිමාහ.

 

(9)   නිබ්බන්‍ධකාරෙ ච අසය්භ සීතෙ

      ලොකන්තරෙයං අසුරෙසු දුක්ඛං

      නතං භවෙ තත්‍ථ න චත්‍ථි ජාති

      යතො අයං ජාති තතොපි දුක්ඛං

 

(10)  යඤ්චාපි ගූථ නරකෙවිය මාතු ගබ්භෙ

      සත්තො වසං චීරමථො බහිනික්ඛමඤ්ච

      පප්පොති දුක්ඛ මතිඝෝර මිදම්පි නත්‍ථි

      ජාතිං විනා ඉතිපි ජාති අයං හි දුක්ඛං

 

(11)  කිං භාසිතෙන බහුනා නනු යං කුහිඤ්චි

      අත්‍ථිධ කිඤ්චි දපි දුක්ඛ මිදං කදාචි

      නෙවත්‍ථි ජාති විරහෙ යදාතො මහෙසි

      දුක්ඛාති සබ්බපඨමං ඉමමාහ ජාතිං,1

 

(6)   “ජාතිදුක - නිරය

      නිරේ උපැත්මක් නැතහොත් සතුන් ගේ

      එතන්හි ගින්නෙන් නැවුමෙන් මහත් වූ

      දුකෙන් ලබාඳෝ! පිහිටෙක් කොතැන්හී

      උපැත්ම දුක්යැ යි මුනි ඉන් වදාළේ.

 

(7)   තිරිසන් ලොව

      නැතහොත් උපැත්මක් තිරිසන් අපායේ

      කයින් දඬින් ඈ පෙළුමින් නිපන් බෝ

      දුකෙක් කොයින් වේද, ඉනුත් එතන්හි

      උපැත්ම දුක් මැයි තිරිසන් අපායේ

 

(8)   පේත ලොව

      සයින්-පිපාසෙන්-වැසි-අවු-සුළං ඈ

      නොයෙක් ලෙසින පේත ලොවේ දුකක් යම්

      නැතහොත් උපැත්මක් එහි ඒ කෙසේ වේ

      ඉනුත් වදාළේ දුක මැයි උපැත්මේ.

 

(9)   ලෝ ඇඳිරිය

      ගනන්දකාරෙන් දැඩි සීතලෙන් හා

      අපායෙ ලෝකන්තරිකැයි පසිද්වූ

      දුකෙන් නොවේ මැයි උපතෙක් නොවේ නම්

      ඉනුත් එතන්හිත් උපතත් දුකෙක් මැයි.

 

(10)  මිනිස් ලොව

      ඒ මව් ගැබේ අසුචී පුත් නිරයක් සදිස් වූ

      බෝකල් සතෙක් විසුමෙකින් පිට නික්මුනෙන් හා

      පත්වේ ද, යම් දැඩි දුකක් එතැනත් උපැත්මෙක්

      නැත්නම් නොවේ මවු කුසේ උපතත් දුකයි ඉන්

 

(11)  කීමෙන් බොහෝ කිම! ලොවේ කොතනත් කිසිත් යම්

      වේ නම් දුකෙක් සියලු දා එසියල් එකැත්තෙන්

      නැත් මැයි නැතොත් ‘ඉපදුමක්’ මුනි ඉන් වදාළේ

      මේ මුල් දුකැයි සියලු දුක් අතරින් මහත් වූයේ

 

මේ වනාහි ජාති දුඃඛ විනිශ්චය යි.

 

(2)     ජරා දුක

‘ජරාව දුකයැ’ යි වදාළ මෙහි ජරාව සඞ්ඛත ලක්‍ෂණය වූ අප්‍ර‍කට ජරාව ය, දත් වැටීම්, කෙස් පැසීම් ආදි වශයෙන් සම්මත වූ සන්තියෙහි හෙවත් රූපා රූප ධර්‍ම පරම්පරායෙහි එක් භවයෙකැ ඇතුළත් ස්කන්‍ධයන් ගේ පුරාණ බව වූ ප්‍ර‍කට ජරාවයයි දෙවැදෑරුම් වේ.

 

මේ දුඃඛ නිර්දේශයෙහි ඉන් ප්‍ර‍කට ජරාව අභිප්‍රේත යැ. මේ ජරාව ස්කන්‍ධයන් ගේ පුරාණ බව ලක්‍ෂණය යැ. මරණය කරා පැමිණවීම එහි කෘත්‍යය යැ. වැටෙන ආකාරය යෞවනය නැසීමයි. සංස්කාර දුක් බැවින් හා දුකට කාරණ වන බැවින්ද දුක් වන්නේ ය.

 

ඒ මෙසේයි:- අඟ පසඟ ළිහිල් බව, ඉන්‍ද්‍රියයන් ගේ විකාර බව, විරූපි බව, තරුණ බව නැසීම, බලය බැසීම, සිහිනුවණ නැසීම, අනුන් පරිභව කිරීම යනාදි නොයෙක් කරුණින් කායික චෛතසික දුකක් උපදී නම් එයට හේතුව ජරාවයි.

 

එයින් වදාළහ.

 

(12)  අඞ්ගානං සිථිලී භාවා - ඉන්‍ද්‍රියානං විකාරෙතො

      යොබ්බනස්ස විනාසෙන - බලස්ස උපඝාතතො

 

(13)  විප්පවාසා සතාදීනං - පුතතදාරෙහි අත්තනො

      අප්පසාදනියතොචෙව - භීයොබාලත්තපත්තියා

 

(14) පප්පොති දුක්ඛං යං මච්චො - කායිකං මානසං තථා

      සබ්බමෙතං ජරාහෙතු - යස්මා තස්මා ජරා දුඛා2

 

(12)  අඟ පසඟ අවසග - බැවින් ඉඳුරන් විකරින්3

      යොවුන් සිරි නැසීමෙන් - සිරුරු බල වැනැසීමෙන්

 

(13)  සිහිනුවණ වියොවින් - සිය අඹු දරු නෑසියන්

      පිළිකුල් කරනුයෙන් හා - නිවට බවට පැමුණුමෙන්

 

(14)  කයින් - මනසින් යම් - දුකක් ලබතොත් මිනිසා

      එ සියල්ල දිරුම් හේනෙන් - එබැවින් ජරා දුක මැයි

 

මේ ජරායෙහි විනිසයි.

 

(3)     මරණ දුක

මරණය ද දුකයැයි වදාළ තන්හි සංස්කාරයන් ගේ විනාශය වූ ක්‍ෂණික මරණය

 

“ජරා මරණං ද්‍විහි ඛන්‍ධෙහි සංගහීතං”[547] යී

 

‘රූපධර්‍මයන් ගේ ජරා - මරණ දෙක රූපස්කන්‍ධයෙහි ද, නාම ධර්‍මයන් ගේ ජරා මරණ දෙක සංස්කාරස්කන්‍ධයෙහිද, සංගෘහිත යයි කීයේ මේ ක්‍ෂණික මරණය පිළිබඳවයි.

 

නිච්චං මරණතො භයං[548] යී ‘නිතර මරණයෙන් භය වෙ’ යයි කී තන්හි එක භවයකට ඇතුළත් ජීවිතින්‍ද්‍රියයාගේ උපච්ඡද සංඛ්‍යාත මරණයයි. මේ මරණ නිර්දේශයෙහි අදහස් කරන ලද්දේ ඒ යැ. ‘ජාතිප්‍ර‍ත්‍යයෙන් මරණය වේ[549] යයි පටිච්ච සමුප්පාදයේ වදාළේත් ඒ සඳහාය. ඒ ජාති ප්‍ර‍ත්‍යය මරණය, කාල මරණ්‍්‍ය අකාල මරණය, සරසමරණය, උපක්‍ර‍ම මරණයැ යි දෙ වැදෑරුම් වේ.

 

එහි සරස (ස්වභාවය) මරණය, ආයුඃක්‍ෂයමරණය, පුණ්‍යක්‍ෂ්‍යමරණයැ යි දෙවැදෑරුම් වේ. මේ ජීවිතින්‍ද්‍රියොපචෙඡදයට මැ නම් වේ.

 

මේ මරණය චුතිය ලක්‍ෂණ කොට ඇත්තේ යැ. සත්ත්‍වසංස්කාරකෙරෙන් වෙන් කිරීම එහි කෘත්‍යය යැ. උපන් ගතියෙන් වෙන් කිීම වැටෙන ආකාරය යැ. මේ මරණය ද දුකට වස්තුවන බැවින් දුකය යි දතයුතුය.

 

එයින් වදාළහ.

 

(17)  පාපස්ස පාපකම්මාදි - නිමත්තමනුපස්සතො

      භද්දස්සා‘පසහන්තස්ස - වියොගං පිය වත්‍ථුකං

 

      (16)  මියමානස්ස යං දුක්ඛං - මානසං අවිසෙසතො

           සබ්බෙසං චාපි යං සන්‍ධි - බන්‍ධච්ඡෙදනාදිකං

 

      (17)  විතුජ්ජමාන මම්මානං හොති දුක්ඛං සරීරජං

           මරණං වත්‍ථු තෙනෙතං - දුක්ඛමිච්චෙව භාසිතන්ති.[550]

 

      (15)  පවිටා පවිටුකම් - ගතිනිමිති ඈ දක්නා

           කළණකම්ද කළණ දන - පියවත් වියො නො සැහැමෙන්

 

      (16)  මියනහු යම් දුකෙක් - සිත නො වෙනසින්න එකසේ

           සව් සත්නට සඳ බැඳුම්[551] - සිඳුමෑ හා නන් ලෙසින්    

 

(17)          නිළතැන්[552] පෙළීමෙන් - සිරුරු බද දුක් වේ නම්

   ඉවසුම් - පිළියම් ද නැති - මෙ සියල් දුකට නියතින්

 

මේ මරණයම වත් වේ - ඉන් එදුකැයි වදාළේ

 

මේ මරණය පිළිබඳ විනිශ්චය යි.

 

සෝකාදීන් අතුරෙහි

 

(4) සෝකය නම්:- ඤාතිව්‍යසනාදියෙන් ස්පර්‍ශවූවහු ගේ සිතෙහි තැවීම ය. එය හුදෙක් අර්‍ථ වශයෙන් දොම්නස මැයි. එසේ ඇත්තේ ද ඇතුළත සිතිවිලි සිතීම ලක්‍ෂණය යැ. සිත දැවීම එහි කෘත්‍ය යැ. අනුව සෝක කිරීම වැටහෙන ආකාරයයි.

 

(කළ නොකළ දුශ්චරිත - සුචරිත විෂයක විපිළිසර බැවින් පවත්නා අනුශෝචනය කුක්කුච්චය යි. ඤාති ව්‍යසනාදි විෂයක වූ හුදෙකලා චිත්තයා ගේ තැවීම ශෝකය යි. මේයැ දෙකෙහි වෙනස) මෙද දුඃඛ වස්තුක හෙයින් දුක යැ.

 

එයින් වදාළහ.

 

(18)  සත්තානං හදයං සොකො - විසසල්ලංව තුජ්ජති

      අග්ගිතත්තොව නාරාවො - භුසංව දහනෙ පුන

 

(18)  සමාවහති ව්‍යාධි - ජරා මරණ භෙදනං

      දුක්ඛම්පි විවිධං යස්මා - තස්මා දුක්ඛොනි වුච්චති[553]

 

(18)  ලෝ සත සතන් සෝ - විසහුල් සෙයින් විදුනේ

      ගින්නෙන් තැවු හීසේ - වැඩිව දෙතා[554] දවන්නේ

 

(19)  ලෙඩ - ජරා මරණ ද - බෙයින් නන් අයුරින් හුදු

      දුක් රැස් පමුණුවන්යෙන් - සෝදුක් යැයි වදාළේ.

 

(දුර්වල ශෝකයෙන් ජරාව ද, බලවත් ශෝකයෙන් අතීසරාදී ව්‍යාධි ද, විපුල ශෝකයෙන් මරණ ද පමුණුවයි.)

 

මේ ශෝකයෙහි විනිශ්චයයි.

 

(5) පරිදේවය

 

නෑයන් ගේ විනාශාදීන් ස්පර්‍ශකළාහු ගේ වාක් ප්‍ර‍ලාපය පරිදේවය යි.

 

එය වැලපීම ලක්‍ෂණය යැ. ගුණ දොස් කීම එහි කෘත්‍යය යැ. විලාප කියන්නකු හා එක්වීම් ස්වභාවය හෙයින් සඞ්ගමය ඵලය යැ. සංසාර දුක්වන බැවින් හා දුඃඛ වස්තුක බැවින් ද දුක්වේ. එහෙයින්ම මේ පරිදේවය දුක්යැ යි කියනු ලැබේ.

 

එයින් කීහ

 

(20)  යං සොකසල්ලවිහතො පරිදෙවමානො

      කණ්ඨෙට්ඨතාලුගලසොසජමප්පසයහං

      භීයොධිමත්තමධිගච්ඡති යෙව දුක්ඛං

      දුක්ඛොති තෙන භගවා පරිදෙවමාහ[555]

 

(20)  සෝ හුල් හැනී පෙළි-පෙළී එදුකින් වලප්නේ

      වේලි එයින් බොටුව තොල් මුව-ඈ නො සෑහී

      පත් වේ බොහෝ පුන පුනා දැඩි දුක් මහත් සේ

      දුක්යැයි එයින් වැලපුමත් දෙසුවේ තිලෝනා

 

මේයැ පරිදේව නම්.

 

(6) කායික දුක

කයෙහි හටගන්නා දුක මෙහි දුකකයි කියයි. එය කය පෙළීම් ලක්‍ෂණය යැ. දු:ප්‍රාඥයනට දොම්නස් ඉපදවීම කෘත්‍යය යැ. කායික ආබාධ වැටහෙන ආකාරය යැ. දුඃඛ - දුඃඛය නිසා ද, මානසික දුඃඛය එළවන හෙයින් ද, මේ දුක්යැයි කියනු ලැබේ.

 

එයින් කීහ.

 

(21)  පීළෙති කායිකමිදං - දුක්ඛං දුක්ඛං ච මානසං භීයෝ

      ජනයති යස්මා තස්මා - දුක්ඛන්ති විසෙසතො වුත්තං

 

(21)  “කය පෙළුමින් නිපන් - දුක බෙහෙවින් සිතු පෙළා

      දුකු දෙනුයෙන් වෙසෙස්නෙන් - හෙද දුක් යැයි මුනි දෙසී”

 

මේ දුඃඛ විනිශ්චය යි.

 

(7) දොම්නස

මානසික දුක දොම්නස යි. එය සිත පෙළීම ලක්‍ෂණය යැ. ව්‍යාපාදය හා යෙදීමෙන් සිත වෙහෙසීම කෘත්‍ය යැ. සිතට ව්‍යාධි එළවන බව වැටහෙන ආකාරයයි.

 

දුඃඛ දුඃඛය හෙයින් ද, කායික දුක් එළවන හෙයින් ද දුක්ය. ඒ මෙසේ යි:- චෛතසික දුකින් යුක්ත වූයෝ හිසකෙස් විහිදා හඬති. ළෙහි අත් ගසති. අභිමුඛවැ පෙරළෙති. නැවත නැවත පෙරළෙති. පා උඩුකුරු කොට වැටෙති. තමා සිරුරට ආවුධවලින් ඇණගනිති. විෂ අනුභව කෙරෙති. ගෙළ රැහැන් බැඳ එලෙති. ගින්නට පනිති. මෙසේ නන් වැදෑරුම් දුකට පැමිණෙත් එයින් කීහ.

 

(22)  පීලෙති යතො චිත්තං - කායස්සච පීලනං සමාවහති

      දුක්ඛන්ති දොමනස්සං - විදෙමනස්සා තතො ආහූ[556]

 

(22)  “දොම්නස සිත පෙළා - ඉන් කයට ද මහත් දුක්

      එළවා හෙද දුකැයි ඉන් - කීහු දොම්නස් නැසුවෝ”

 

මේ දොම්නසෙහි විනිශ්චය යි.

 

(8)     උපායාසය

ඥාති ව්‍යසනාදීන් ස්පර්‍ශ කරන ලද්දහු ගේ අධිමාත්‍ර‍ දුඃඛයෙහි උපදවන ලද ද්වේෂය මැ උපායාසය යි.

 

මතාන්තරයෙකි.

ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් මෙය සංස්කාරස්කන්‍ධයට ඇතුළත් තුදුස් අකුශල චෛතසිකයන්ගෙන් අන්‍ය වූ විශාද නම් ධර්‍මයෙකැයි යෙති.

 

මෙය සිත දැවීම් ලක්‍ෂණය යැ. තැතනුම එහි කෘත්‍යය යැ. බැගෑපත් බව වැටහෙන ආකාරය යි. සංස්කාර දුක් බැවින් ද, සිත දවන හෙයින් ද, කය බැගෑ වන හෙයින් ද දුක් වේ.

 

එයින් මේ කියන ලදී.

 

(23)  චිත්තස්සච පරිදහනාන - කායස්ස විසාදනවා අධිමත්තං

      යං දුක්ඛමුපායාසා - ජනෙති දුක්ඛො තතො වුත්තො

 

(23)  ‘නැ වනසෑ[557] නිපන් - දුක සිත දවා දැඩිසේ

      කයද දුබල කරනුයෙන් උවහස් දුකැයි[558] පැවසී”

 

මේ උපායාසයෙහි විනිශ්චය යි.

 

විශේෂ:- මෙහි මද ගින්නෙන් බඳුනක් තුළ පැසීම මෙන් ශෝකය ද, තද ගින්නෙහි පැසෙන දෙය භාජනයෙන් පිටත උතුරා යාම මෙන් පරිදේවය ද, පිටත නික්මී ඉතිරි වූ දැය බැහැර විය නොහී භාජනය තුළම අවසානය තෙක් පැසීම මෙන් උපායාසය ද දතයුතු.

 

(9)     අප්‍රිය සම්ප්‍රයෝගය

 

අමනාප සත්ත්‍ව සංස්කාර හා එක්වීම අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය යි.

 

එය සිත සතුටු නොවන එක්වීම් ලක්‍ෂණය යැ. සිත පෙළීම කෘත්‍යය යැ. අනර්ථ බව වැටහෙන ආකාරය යි. මෙද දුඃඛ වස්තු හෙයින් දුක් වේ.

 

එයින් කීය

 

(24)  දිස්චාව අප්පියෙ දුක්ඛං - පඨමං හොති චෙතසි

      තදුපක්කමසම්භූත-මථ කායෙ යතො ඉධ

 

      (25)  තතො දුක්ඛද්වයස්සාපි - වත්‍ථුතො සො මහෙසිනා

           දුක්ඛො වුත්තොති විඤ්ඤෙය්‍යො අප්පියෙහි සමාගමො[559]

 

      (24)  “නො පිය වත් දැක්මෙන් - පළමුවැ සිත් හි දුක් වේ

           එයට උවහම්[560] යෙදුමෙන් - කයෙහි ද දුක් උපදනේ

 

      (25)  මෙදුක් දෙකට ම ඒ - වත් වනුයෙන් තිලෝනා

           නො පියයන් හා සමහම්[561] දුකැයි, වදහළෙ වෙසෙසින”

 

අප්‍රිය සම්ප්‍රයොග දුඃඛ විනිශ්චය යි

 

(10)  ප්‍රිය විප්‍රයෝග දුක්ඛය යි.

     

මනාප වස්තූත්ගෙන් හා සත්ත්‍වයන්ගෙන් වෙන්වීම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය ය.

 

එය කැමති වස්තුන්ගෙන් වෙන්වීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ. ශෝක ඉපදීම එහි කෘත්‍යය යැ. ව්‍යසනය ඵලයයි මෙය ශෝක දුඃඛයට වස්තු හෙයින් දුක් නමි.

 

එයින් කීය.

 

(26)  ඤාති ධනාදි වියොගා - සොකසදරසමප්පිතා චිතුජ්ජන්ති

      බාලා යතො තතොයං - දුක්ඛොති මතොපියවිප්පයොගො[562]

 

(26)  “නෑ දන ඈ ඉපිය[563] - වත් වියොවින් නිපන් සෝ

      සරපහර ලදඅඳ බල්3 - පෙළනෙන් පිය වියෝදුකැ

 

මේ ප්‍රිය විප්‍රයෝග දුඃඛ විනිශ්චය යි.

 

(11) ඉච්ඡා විඝාතය

 

“ඇපි උපදනා ස්වභාව ඇත්තමෝ නො වමුනම් මැනවැයි” යනාදි නො ලැබිය හැකි වස්තුන් කැමැති වීම මැ ඉච්ඡා විඝාත දුඃඛයයි වදාරන ලදී.

 

එය නොලැබිය හැකි වත් කැමතිවීම ලක්‍ෂණය යැ. එය සෙවීම කෘත්‍යය යැ. එය නොලැබීම වැටහෙන ආකාරය යි.

 

මෙයද දුඃඛයට වස්තු හෙයින් දුකය යි කියනු ලැබේ.

 

එයින් කීය.

 

(27)  තං තං පත්‍ථයමානානං - තස්ස තස්ස අලාභතො

      යං විඝාතමයං දුක්ඛං - සත්තානං ඉධ ජායති.

 

(28)  අලබ්භනෙය්‍යවත්‍ථුනං - පත්‍ථනා තස්ස කාරණා

      යස්මා තස්මා ජිනො දුක්ඛං - ඉච්ඡිතාලාහමබ්‍ර‍වි[564]

 

(27)  ‘ඒ ඒ පතන දැය - නො ලැබැ විපිළිසර බැවින්

      පැහැරීමෙන් යම් දුකෙක් - වේනම් මෙලෝ සත්නට

 

(28)  නො ලද හැකි නන් වත් - පැතුම් එයට කරුණු වේ.

      රිසි දෑ නො ලැබුම ද ඉන් - දුක යැයි මුනි වදාළේ”

 

මේ ඉච්ඡාවිඝාත දුඃඛයෙහිවිනිශ්චය යි.

 

(12) පඤ්චූපදානක්ඛන්‍ධ දුක්ඛය

 

(29)  ජාතිප්පභුතිකං දුක්ඛා - යං වුත්ත මිධ තාදිනා

      අවුත්තං යං ව තං සබ්බං - විනා එතෙ න විජ්ජති.

 

(30)  යස්මා තස්මා උපාදානක්ඛන්‍ධා සංඛෙපතො ඉමෙ

      දුක්ඛාති වුත්තා දුක්ඛන්ත - දෙසකෙන මහෙසිනා1

 

(29)  “ඉපැදුම පටන් යම් - මෙහි කී සියල් දුක් හා

      නො කියනලදද එසියල් - මෙ විනා නො පවතී මැයි

 

(30)  එයින් ‘පස් උවදා - කඳු[565] සැකෙවින් මෙතන්හි

      දුක යැයි දුක‘ත් පිළිවිදී[566] - ලෝහිමියා වදාළේ

 

දරට ගින්න මෙන් ද, අවිපහරට ඉලක්කය මෙන් ද, මැසි මදුරු ආදීනට ගවයා මෙන්ද, ගොවියනට ගොයම් මෙන්ද, ගම් පහරනනවුනට ගම මෙන් ද, උපාදානස්කන්‍ධපඤ්චකයම ජාත්‍යාදි දුකට වස්තු වෙයි. ඒ ජාත්‍යාදීහු නන් අයුරින් පෙළමින් භූමයෙහි තෘණ - ලතා මෙන් ද, වෘක්‍ෂයන්හි පුෂ්ප-ඵල-පල්ලවයන් මෙන්ද, උපාදානස්කන්‍ධයන්හි මැ හටගනිත්.

 

උපාදානස්කන්‍ධයන් ගේ ප්‍ර‍ථම දුක ජාතිය යැ. ජරාව මධ්‍ය දුක යැ. මරණය අවසාන දුකයි. මාරාන්තික දුකින් පෙළෙමින් සිත් තැවුලෙන් හටගන්නා දුක ශොකය යි.

 

එය ඉවසිය නොහැකි බැවින් හැද්‍ධිමෙන් වන්නා වූ දක පරිදේවය යි.

 

ධාතුක්‍ෂොභාදි අනිෂ්ට ස්පර්‍ශයෙන් ශරීරයේ පීඩා ඉපදීම කායික දුකයැ.

 

එයින් පීඩිත වූ පෘථග්ජනයා ගේ එහි ක්‍රෝධ ඉපදීමෙන් සිත පෙළීම දොමනස්ස යැ.

 

ශෝකාදිය වැඩීමෙන් උපන් චිත්ත කලාන්න ඇත්තවුන් ගේ සිතිවිලි සිතීමෙන් උපදනා දුක උපායාය යැ.

 

චිත්තාභිලාශ විඝාතයට පැමිණියවුන් ගේ අභිමත වස්තු ප්‍රාර්ථනා කිරීමෙන් හටගන්නා දුක ඉච්ඡාවිඝාතය යි.

 

මෙසේ නන් අයුරින් පරීක්‍ෂා කරන්නවුන්ගේ උපාදානස්කන්‍ධයෝම දුඃඛයෝ යි.

 

එකී ජාත්‍යාදීන්ගේ ම එකක් එකක් ම අක්‍ෂි රෝග දුඃඛාදි වශයෙන් දක්වා දේශනා කළහොත් බොහෝ කල්ප ගණනකිනුදු මේ දුඃඛ සත්‍යය නිරවශෙෂයෙන් වදාළ නොහැක්කේ යි.

 

එහෙයින් එක් දිය බිඳකින් සියලු සමුද්‍ර‍ ජලයෙහි රසය හකුළුවා දක්වන්නා සේ මේ පඤ්චොපාදානස්කන්‍ධයෙහි හකුළුවා දක්වනු පිණිස “සඞ්ඛිත්තෙන පඤ්චුපදානස්කඛන්‍ධා දුක්ඛා[567] යි සැකෙවින් පඤ්චුපාදානස්කන්‍දය දුකය’ යි වදාළහ.

 

මේ උපාදානස්කන්‍ධ දුඃඛයෙහි විනිශ්චය යි.

 

මේ දුඃඛ නිර්‍දෙශය යි.

 

සමුදය සත්‍ය නිර්‍දෙශය (2)

 

සමුදය සත්‍යය වදාරන සර්‍වඥයන් වහන්සේ විසින් “යායං තණ්හා පොනොභවිකා නන්‍දිරාග සහගතා තත්‍ර‍ තත්‍රාභිනන්‍දිනි සෙය්‍යථි දං කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා”[568] යී පුනර්‍භවය කරන ඇලෙන රාගය හා ඒකී භාවයට පැමිණි ඒ ඒ ආත්මභාවයෙහි හෝ ඒ ඒ රූපාදි ආලම්බනයෙහි හෝ අතිශයින් සතුටු වූ කාමතෘෂ්ණා යැ, භවතෘෂ්ණායැ යි විභව තෘෂ්ණායැ යි යම්බඳු තෘෂ්ණාවක් වදාරන ලද්දේ ද, ඒ මේ සමුදායර්‍ය්‍ය සත්‍යය යි.

 

විස්තර :- යායංතණ්හා = යම් එ තෘෂ්ණාවක්

 

පොනොභවිකා = පුනර්‍භවය කරන ස්වභාවය ඇත්තී ය.

 

ප්‍ර‍ශ්න:- දෙවන භවයක් දෙන්නා වූ තෘෂ්ණාවක් ද නො දෙන තෘෂ්ණාවක් ද ඇත. එහෙයින් මෙහි අවිශේෂයෙන් “පොනොභවිකා” යි කීයේ කුමක් හෙයින් ද

 

පිළිතුරු:- විශේෂ ප්‍ර‍ත්‍යයයන් ගේ සමවායෙන් පුනර්‍භවය දෙන්නා වූ තෘෂ්ණාව පුනර්‍භවය දෙයි. පුනර්‍භවය නො දෙන තෘෂ්ණාව විශේෂ ප්‍ර‍ත්‍යයන් ගේ සමාගමය නැති කල්හි පුනර්භවය නො දෙයි. එහෙත් ඒ තෘෂ්ණාව ද පුනර්‍භව දාන ස්වභාවය නො ඉක්ම පවත්නාහෙයින් “පුනබ්භව දාන සීලා” යි තද්ධිත විසින් පුනර්‍භවය දෙන ස්වභාවය සුදුසු හෙයින් හෝ “පොනොභවිකා”යි අවිශේෂයෙන් කී බව් දත යුතු.

 

නන්‍දිරාග සහගතා = චිත්තයා ගේ බැඳෙන බව හෝ ඉපිළෙන බව හෝ පොපියන බව නන්‍දි නම, වර්‍ණයකින් වස්ත්‍ර‍යක් රඳන්නා සේ චිත්තය අන්‍ය වර්‍ණයකට (රාගයකට) පමුණුවනුයේ රාගයයි. තෘෂ්ණාව ද මේ අර්‍ථයෙන් ම ඒකත්‍වයෙහි පවත්නා හෙයින් නන්‍දිරාග සහගතා නම.

 

තත්‍ර‍ තත්‍රාභිනන්‍දිනී = එ තෘෂ්ණාවෙන් මැ සත්ත්‍වයෝ ඒ ඒ පණු, පළඟැටි, කුහුඹු ආදි ආත්මභාවයෙහි ද සතුටුව රූපාදීන් අභිනන්‍දනයන වූ තෘෂ්ණාවෙන් ඇලෙත් නුයි තෘෂ්ණාවමැ තත්‍ර‍තත්‍රාභානන්‍දිනී, නම. ඕ කාම, භව, විභව වශයෙන් ත්‍රිවිධ වේ. (එය මතු පටිච්චසමුප්පාද නිර්‍දෙශයෙහි දැක්වේ.)

 

ප්‍ර‍ශ්න:- මේ තෘෂ්ණාව මැ කුමක් හෙයින් සමුදය සත්‍යය යි කියන ලද ද

 

පිළිතුර:- විශේෂ හේතු බැවිනි. අවිද්‍යාව බෙහෙවි ආදීනව වසයි. දිට්ඨි උපාදානාදිය ඒ ඒ භවයෙිහ අභිනිවිසමාන තෘෂ්ණාව වඩයි.

 

“ද්වේෂාදීහු ද කර්‍මයට කාරණ වෙති. තෘෂ්ණාව වනාහි ඒ ඒ භව-යොනි-ගති විඥානස්ථිති - සත්ත්‍වවාස-සත්ත්ව නිකාය-කුල - භොගෛශ්චර්‍ය්‍යාදි විචිත්‍ර‍තාව ප්‍රාර්ථනය කරන්නී කර්‍මචිත්‍ර‍තාවයට උපනිශ්‍ර‍ය බවට ද, කර්‍මයට සහාය බවට ද, යන්නී භාවාදීන්ගේ විචිත්‍ර‍තාවය නියම කෙරේ.

 

මෙසේ දුඃඛයට විශේෂ හේතු බැවින් සූත්‍රයෙහි වදාළ සෙසු අවිද්‍යා-උපදාන-කර්‍මාදි හේතූන් ඇත ද අභිධර්‍මයෙහි වදාළ-අශේෂ කේලශ-කුශල මූලාදි හේතූන් ඇත ද, තෘෂ්ණාවම සමුදය සත්‍යයැයි කියනලදැ යි දතයුතු” (යනු සන්‍යයි)

 

මෙහි දැක්වෙන ත්‍රිවිධ තෘෂ්ණාව ම දුඃඛ සත්‍යය උපදවන අර්‍ථයෙන් එකක් සේ ගෙන දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය යි කීහු.

 

මේ සමුදය සත්‍ය නිර්‍දෙශයයි.

 

නිරෝධ සත්‍යය (3)

 

දුඃඛ නිරෝධ නිර්දේශයෙහි “යො තස්සයෙව තණ්හාය[569] යනාදීන් සමුදය නිරෝධය වදාළහ.

 

කවරහෙයිනයත්?

 

සමුදය නිරෝධයෙන්ම දුඃඛ නිරෝධය වේ. මේ අන් පරිද්දෙකින් නොවේ.

 

එම අර්‍ථයා ගේ ඒකාන්ත බව මෙයින් වදාළහ.

 

“යථාපි මූලෙ අනුපද්දවෙ දල්හෙ

ජීන්නොපි රුක්ඛො පුනදෙව රූහති

එවම්පිතණ්හානුසයෙ අනූභතෙ

උප්පජ්ජති දුක්ඛමිදං පුනප්පුනං”[570]

 

“යම්සේ රුකක් සහමුලින් උදුරා නොලීනම්

සින්දත් මුලින් ලියලලා වඩනේ ද මත්තේ

තන්හානු සේ විදිලෙසින් එලෙසින් නුසුන් කල්

මේ දුක් සියල් පුන-පුනා උපදී වෙසෙස්නෙන්

 

(ගසෙක පස් මහා මුල්, සිඳීම් - පැළීම් - පණුවන් විදීම් - ආදීන් උපද්‍ර‍වයකට නො පැමිණ (එහෙයින්ම) ස්ථිරවැ සිටි කල්හි අතුපතර සිඳින ලදුව ද, (රුක) නැවත නැවත අතු රිකිලි පත් ආදියෙන් වැඩෙන්නාසේ තෘෂ්ණානුශය (කාමරාගානුසයභවරාගානුසය) අර්‍භන්මාර්‍ගඥානයෙන් නො සිඳිනලද කල්හි ජාත්‍යාදී මේ දුක ඒ ඒ භවයෙහි නැවත නැවත උපදනේ ය.)

 

මෙසේ තෘෂ්ණා නිරෝධයෙන් මැ දුඃඛ නිරෝධය වන හෙයින් දුඃඛ නිරෝධය දේශනා කරන බුදුහු සමුදය නිරෝධය මැ වදාළහ.

 

විශේෂ:- බුදුවරයෝ සිංහ සමාන පැවැතුම් ඇත්තෝය. යමෙක් තමා වෙත හීයක් විද්දේ නම් (සිංහයා) හේතුව වූ ඒ විද්දාහු විනා ඵලය වූ ඊය ඩැහැ නොගනී. එසේම බුදුවරයෝ ද, දුඃඛනිරෝධය දේශනා කරන්නාහු දුඃඛ හේතුව වූ තෘෂ්ණා නිරෝධය වදාරති. ඵලය වූ දුඃඛය නොවදාරත්.

 

සුනඛයා තමහට ගැසූ ගල සපයි. ගල ගැසුවහු ඩැහැ නොගනී. එසේම අන්‍ය තීර්‍ථකයෝ දුක් නිරෝධ කරන්නාහු අත්තකිලමථානුයෝගාදීන් දුක් විඳීමෙන් ම දුක් නැතිකළ යුතුයැයි යෙති. ක්ලේශ නිරෝධය නො කියත්.

 

මෙසේ දුඃඛ නිරෝධය, සමුදය නිරෝධය වශයෙන් දෙසීමේ ප්‍රයෝජන දතයුතු.

 

එහෙයින්මැ

 

තස්සායෙව තණ්හාය = පුනර්‍භවය කරන (කාම-භව-විභව වශයෙන් බෙදූ) තෘෂ්ණාවගේ මැ

 

අසේසවිරාග නිරෝධො = යම් නිර්‍වාණයක් අවබෝධ කිරීමෙන් තෘෂ්ණාව ගේ නිරවශේෂයෙන් ක්‍ෂයවීම් වශයෙන් පහවීම ද, නැවත නූපදනා සේ නිරුද්ධවීම ද වේ නම් ඒ නිර්‍වාණය තෘෂ්ණාව ගේ අසේස විරාග නිරෝධය යි.

 

විශේෂ:- මෙහි විරාග නම් මාර්‍ගය යි. ඒ විරාග නම් වූ මාර්‍ගයෙන් නිරුද්ධ කිරීම (නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කිරීම) අශේෂ විරාග නිරෝධය යැ. මාර්‍ගයෙන් අරමුණු කිරීම් වශයෙන් නිර්‍වාණයට පැමිණීමෙන් තෘෂ්ණාව නිරවශේෂයෙන් ප්‍ර‍හාණය වන හෙයින් නිර්‍වාණය තෘෂ්ණා නිරෝධය යි කියනු ලැබේ.

 

තවද කාමරාගාදි වශයෙන් පැවැති තෘෂ්ණාව අනුසය සහිතව ප්‍ර‍හාණය වන හෙයින් අශේෂ විරාග නිරෝධය යි කියනු ලැබේ.

 

තවද අර්‍ථයෙකි:- විරාග නම් ප්‍ර‍හාණ යැ. එහෙයින් නිරවශේෂ විරාගය, නිරවශේෂ නිරෝධය යි මෙසේත් මෙහිලා යෙදියැයුතුයි අර්‍ථ වශයෙන් වනාහි මේ විරාග-නිරෝධාදි පද සියල්ලම නිර්‍වාණයට පර්‍ය්‍යාය නාමයෝයි.

 

පරමාර්‍ථ වශයෙන් දුඃඛනිරොධාර්‍ය්‍ය සත්‍යයි නිර්‍වාණය කියනු ලැබේ. (දුඃඛ නිරෝධ මාත්‍ර‍ය නො කියනු ලැබේ)

 

නිර්‍වාණයට අරමුණු කිරීම වශයෙන් පැමිණ තෘෂ්ණාව ආර්‍ය්‍යමාර්‍ගයෙන් අත්‍යන්ත විරාගයෙන් ප්‍ර‍හාණය වේ. අනුත්පාද නිරෝධය වේ. එහෙයින් විරාග යැයි ද, නිරෝධ යැයි ද කියනු ලැබේ.

 

එසේම නිර්‍වාණය අවබෝධ කිරීම හේතුකොටගෙන එම තෘෂ්ණාව අත්හැරීම ද, නො ඇලීම ද, මිදීම ද වන හෙයින් ද, පඤ්චකාම ගුණික ආලයයන් අතුරින් එකකුදු නැති හෙයින් ද, නිර්‍වාණය චාග-පටිනිස්සග්ග-මුත්ති-අනාලයය නම් වේ.

 

(දුක්ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය වදාරන බුදුහු තෘෂ්ණා නිරෝධය වශයෙන් දුඃඛනිරෝධය වදාළහ. ඒ තෘෂ්ණා සඞ්ඛ්‍යාත දුඃඛෝත්පාදක හේතුව තිබියදී ඵලය වූ දුඃඛය නැතිකළ නොහැකි හෙයින් දුක් නැති කළ හැකි ආකාරයත් සමගම වදාරනු සඳහා ය. තෘෂ්ණාව වූ දුඃඛ හේතුව තිබියදී කොතෙක් දුක් නැති කළ ද, නැවත උපදනා හෙයින් නැවත නූපදනා සේ දුක් නිරෝධ කිරීමේ නො වරදනා ක්‍ර‍මය ද එය මැයි)

 

නිර්‍වාණය ශාන්ති ලක්‍ෂණය යැ. නො ගිලිහෙන බව හෝ ආස්වාදකර බව එහි රසය යැ. රාගාදි නිමිති නැති හෙයින් අනිමිත්ත බව හෝ ප්‍ර‍පඤ්ච රහිත බව වැටහෙන ආකාරය යැ.

 

(මෙහිලා පරවාදී-සකවාදී සංවාද ද්වාරයෙන් නිර්‍වාණයාගේ අභාවය හා භාවය පිළිබඳව විචාර පූර්‍වක විවරණයක් වේ)

 

පරවාදී:- මෙසේ ලක්‍ෂණාදිය කියා නිර්‍වාණය වර්‍ණනා කිරීමෙන් කවර ප්‍රයෝජන ද නාම මාත්‍ර‍ය මූත් නිර්‍වාණය තෙමේම නැත්මැයි. සස විසානයක් (හා අඟක්) මෙන් අනුපලබ්ධි (සිතින් නො දත හැකි) වන හෙයිනි.

 

සකවාදී:- “නිවන් නැති (සිතින්) නො දත හෙයිනැයි” යම් හේතුවක් කියන ලද නම් ඒ එසේ නො වේ. ශීලවිශුද්ධි ආදි එයට සුදුසු උපායයෙන් උපලබ්ධි (ප්‍ර‍ත්‍යක්‍ෂ) වන හෙයිනි.

 

(මෙහි “නත්‍ථෙව නිබ්බාණං” = නිර්‍වාණය නැත්මැයි. යනු සාමාන්‍යයෙන් ප්‍ර‍තිඥා වීනම් තමා විසින් අභිප්‍රේත නිර්වාණයාගේ ද අභාවය පැමිණේ. එකල්හි ප්‍ර‍තිඥා විරෝධය වේ. ඉදින් පරාභිමත නිර්‍වාණය පිණිස වී නම් එකල්හි ධර්මි අසිද්ධිය වේ. එහෙයින් හේතුව ආශ්‍ර‍යාසිද්ධ වේ.

 

අනුපලබ්භනියතො” යනුයෙහි අනුපලබ්ධිය ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් වීනම් චක්‍ෂුරාදීන් ගේ වශයෙන් හේතුව අනෛකාන්තික වේ. අනුපලබ්ධිය අනුමානයෙන් වී නම් පරහට හේතුව අසිධ්ද වේ. (මෙසේ නිර්වාණය අනුපලබ්ධි වනුයේ (නුවණට ගෝචර නොවනුයේ) ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් ද, අනුමානයෙන්දැ යි විචාර ඒ දෙයාකාරයෙන් ම උපලබ්ධි වන බව් දෘෂ්ටාන්තාදිය දැක්වීමෙන් ව්‍යක්ත කෙරේ.)

 

1. නිර්වාණය එයට සුදුසු සීල - සමාධි - ප්‍ර‍ඥා සඞ්ඛ්‍යාත උපායයෙන් උපලබ්ධි (ප්‍ර‍ත්‍යක්‍ෂ) වේ.

 

2. චේතොපරිය (පරචිත්ත විජානන) ඥානය ලද ආර්‍ය්‍යයන් ඒ නුවණින් අනුන් ගේ ලොවුතුරා සිත දැනගන්නා සේ ආර්‍ය්‍යයන් ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් ම නිර්වාණය අවබෝධ කරන හෙයින් නිර්වාණය නැතැයි නො කිය යුතු. (මේ ප්‍ර‍ත්‍යක්‍ෂයෙහි)

 

විශේෂ:- ආර්‍ය්‍යයෝ චේතොපරිය ඤාණය උපදවා එයින් අන්‍ය ආර්‍ය්‍යයන් ගේ ලොව්තුරු සිත් දකිති. (ඒ ඒ මාර්‍ග ලාභී ආර්‍ය්‍යයට එබඳු වූ ම ආර්‍ය්‍යයන් ගේ හා එයට අඩු වූ ආර්‍ය්‍යයන් ගේ සිත් දත හැකිය. රහත්නට සියලු ආර්‍ය්‍යයන් ගේ ලොවුතුරා සිත් දත හැකි වේ.) ඒ ලොවුතුරා සිතට අරමුණ නිර්වාණය වන හෙයින් නිර්වාණය නැත්තේ වී නම් ලොවුතුරා සිත් නො උපදී.

 

පුහුදුනට අනුන් ගේ ලොවුතුරා සිත් නො දත හැකි හෙයින් ඔවුන් ඒ නැතැයි කියනු නො යෙදේ.

 

3. එසේ නිර්වාණය ප්‍ර‍ත්‍යක්‍ෂ කොට වදාළ බුදු-පසේබුදු-බුදුසව්වන් ගේ දේශනා ප්‍රදේශයන්ගෙන් සිද්ධ වූ පූර්‍වභාග ප්‍ර‍තිපදා ඇති ආර්‍ය්‍ය මාර්‍ග ඵල ඥානයට විෂය වූ නිර්වාණය ආගම-අධිගම නැති අන්‍ධ පෘථග්ජනයන් (නිර්‍වාණය) නැතැයි කරන ප්‍ර‍තික්‍ෂේපය “හිරු ඇත්නම් අපට ද පෙනුන මනා ය. අපට නො පෙනෙනුයේ හිරු නැති නිසායැ.” යි ජාත්‍යන්‍ධයන් සකල ලෝකාලෝක කරන සූර්‍ය්‍යයා නැතැයි කියන්නා සේය.

 

4. තවද සසර කලකිරී ඉන් එතර වන සිත් ඇතිව ‘ජාත්‍යාදි දුක ඇති හෙයින් එය සංසිඳුවන නිවනක් ද, ඇත මැනවැයි, බුද්ධ ධර්‍මය නො දැන අනුමාන ඥානයෙන් සලකා උත්සාහ වැඩුවන් ඒ මනා ප්‍ර‍තිපත්තීන් නිවන් පසක් කෙරෙතියි, මෙසේ නන් අයුරින් නිවන ඇති බැව් ව්‍යක්ත කළහ.

 

5. තවද ආර්‍ය්‍යමාර්‍ග - ප්‍ර‍ත්‍යවේක්‍ෂාඥානයන්ට ගෝචර වූ නිර්වාණය නැතැයි නො කිය යුතු කවර හෙයින්යත්? ප්‍ර‍තිපත්තිය වඳ වන හෙයිනි.

 

නිර්‍වාණය නැත්තේ වීනම් සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට ඇති ‘ශීලාදි ස්කන්‍ධත්‍රයෙහි’ සංගෘහීත සම්‍යක් ප්‍ර‍තිපත්තිය සිස් වේ.

 

(පෙර කී සේ) නිර්‍වාණයට පමුණුවන හෙයින් ඒ ප්‍ර‍තිපත්තිය සිස් නො වේ. (එහෙයින් අභාවවාදීන් ගේ මතය අනාථ වේ.)

 

පරවාදී:- මේ ප්‍ර‍තිපත්තියට වඳ නො වේ. එහෙතේ ඒ වඳ නො වනුයේ නිවනට පමුණුවන හෙයින් නොව ක්ලේශ සමුච්ඡේද මුඛයෙන් අතීත-අනාගත ස්කන්‍ධයන් (ඇසුරු කළ කෙළෙස්) අභාවයට පමුණුවන හෙයිනි.

 

සකවාදී:- (එසේ අතීත-අනාගත) ස්කන්‍ධයන් (ඇසුර කළ ක්ලේශයන්) ගේ අභාවය නිර්‍වාණය යි කියා නම් ඒ නො යෙදේ. කවරහෙයින්යත්? අතීත (ක්ලේශ) ස්කන්‍ධයන් පෙර ම නැති වූ හෙයින් හා අනාගත (ක්ලේශ) ස්කන්‍ධයන් පෙර ම නැති වූ හෙයින් හා අනාගත (ක්ලේශ) ස්කන්‍ධයන් තවම නො වූ හෙයින් ‘ඔවුන් ගේ අභාවයෙන් ප්‍ර‍තිපත්තිය වඳ නො වෙයි, යනු නො වන හෙයිනි. (වඳවන හෙයිනි)

 

පරවාදී:- හුදෙක් අතීත-අනාගතයන්ගේ නොව වර්‍තමාන ස්කන්‍ධ (ඇසුරු කළ ක්ලේශ) යන්ගේ ද අභාවය නිර්‍වාණය යැ.

 

සකවාදී:- වර්‍තමාන ස්කන්‍ධයන් ඇසුරු කළ (ක්ලේශ) යන්ගේ අභාවය ද අසම්භව ය. වර්‍තමාන නම් නැත්තේ නො වේ. නැත්තේ වර්‍තමානය නො වේ. අභාවය ඇති කල්හි භාවය (වර්‍තමානය) නො වන හෙයින් වර්‍තමානයන් ගේ අභාවය වී ප්‍ර‍තිසිද්ධ ය.

 

තවද වර්‍තමාන ස්කන්‍ධ (ඇසුරු කළ ක්ලේශ) ක්‍ෂයකරන මාර්‍ග ක්‍ෂණයෙහි සොපාදිසෙස නිර්‍වාණ ධාතූහූ ගේ ප්‍රාප්තිය නො වන හෙයින් ‘වර්‍තමාන (ක්ලේශ) ස්කන්‍ධයන් ගේ අභාවය ද නිර්‍වාණය’ යනු නො යෙදේ. යම් කලෙක ආර්‍ය්‍ය මාර්‍ගය පවතී නම් එකල එයට නිශ්‍ර‍ය වූ ස්කන්‍ධ පවත්නා හෙයින් නිර්‍වාණයාගේ අභාවය වේ.

 

පරවාදී:- ඇපි සියලු (ක්ලේශ) ස්කන්‍ධයන් ගේ අභාවය නිවනැ යි නො කියම්හ. ‘මාර්‍ගක්‍ෂණයෙහමි (ක්ලේශ) ස්කන්‍ධයන් නො පවත්නා හෙයින් ඔවුන් ගේ අභාවය නිර්‍වාණයැ’යි කියම්හ. එහෙයින් යථෝක්ත දෝෂය නො වේ.

 

සකවාදී:- (ක්ලේශ) ස්කන්‍ධයන් ගේ අවර්‍තමානතාසඞ්ඛ්‍යාත අභාවය නිර්වාණය වේනම් මාර්‍ගයෙන් නො සිඳින ලද කෙලෙස් ද මාර්‍ගක්‍ෂණයෙහි උත්සන්න නො වන බැවින් ද, මාර්‍ගක්‍ෂණයෙන් පෙරටුව ගොත්‍ර‍භූ චිත්තයෙහි පටන් ක්ලේශයන් ගේ සමුදාචාර නැති හෙයින් ද, නැත්තාහුනුයි මාර්‍ගයෙන් කටයුතු නැති හෙයින් ආර්‍ය්‍ය මාර්‍ගය නිරණර්‍ථක බවට පැමිණේ.

 


මෙසේ - නිර්වාණය

 

1.  අනුපලබ්ධි නොවීම ද

i.       2{අභාවමාත්‍ර‍ය නො වීම ද

ii.     ප්‍ර‍තිපත්තිය වඳ වීම ද

iii.   අතීත අනාගතභාවයෙහි නිර්‍වාණාධිගමය නො වීම ද

iv.     වර්‍තමානයන් ගේ අභාවය සම්භව නො වීම ද

 

2.  පළමු කොටම ක්ලේශයන් අවර්‍තමාන හෙයින් ආර්‍ය්‍ය මාර්‍ගය නිරර්‍ථක වීම ද

 

යන මේ හේතුකොටගෙන නිර්වාණයා ගේ අභාවය පිළිබඳ සාධක කළ පෙරකී කැරණු නො යෙදේ. අයුක්තී හෙයිනි.

 

පරවාදී:- එසේවන්නා “නිබ්බාණං නිබ්බාණන්ති ආවුසො සාරිපුත්ත! වුච්චති. කතමං නුඛො ආවුසො නිබ්බාණන්ති. යො ඛො ආවුසො රාගක්ඛයො, දොසක්ඛයො, මොහක්ඛයො, ඉදං වුච්චති නිබ්බාණන්ති[571] ආයුෂ්මත් ශාරිපුත්‍ර‍ය! නිරවාණය නිර්වාණයැ යි කියයි. නිවණ නම් කිමැයි විචාළ ජම්බුද්ධාක පරිව්‍රාජකයාහට ආයුෂ්මත! යමක් රාගක්‍ෂය ද, දෝෂක්‍ෂය ද, මෝහක්‍ෂය ද වේ නම් ඒ නිවණැ යි. මෙසේ ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වදාළ පරිදි රාගාදීන් ගේ ක්‍ෂය (අභාවමාත්‍ර‍)ය නිර්‍වාණය යැ. මෙයින් රාගාදීන් ගේ ක්‍ෂය මාග්‍ර‍ය නිර්වාණය බව පැහැදිලි නො වේද,

 

සකවාදී:- නො වේ. එයට අනතුරුවැ අර්‍හත්‍වය විචාල ඕහටම “අරහත්තං අරහත්තන්ති ආවුසො සාරිපුත්ත! වුච්චති. කතමං නු ඛො අරහත්තන්ති. යො ඛො ආවුසො රාගක්ඛයා, දොසක්ඛයො, මොහක්ඛයො ඉදං අරහත්තන්ති”[572] ආයුෂ්මත් ශාරිපුත්‍ර‍ය! අර්‍හත්ත්‍වය අර්‍හත්‍වය යි කියයි. අර්‍හත්ත්‍වය නම් කිමෙක් ද, ආයුෂ්මත! යමක රාගක්‍ෂය ද, දොෂක්‍ෂය ද, මොහක්‍ෂය ද වේ නම් ඒ අර්‍හත්‍වයැ’යි වදාළ පරිදි අර්‍හතත්‍වය ද රාගාදීන් ගේ ක්‍ෂය මාත්‍ර‍යැ යි.

 

මෙසේ නිර්‍වාණය හා අර්‍හත්‍වය දැක්වූ පෙළ ඒක සවරූපය යැ. දෙකෙහි වෙනසක් නැති හෙයින් ශ්‍රැත වශයෙන් පාළියෙහි අර්‍ථ ගැනී නො යෙදේ.

 

කවර හෙයින් ද

 

අව්‍යාකෘතයෙහි ඇතුළත් අසඞ්ඛත ධාතු සඞ්ඛ්‍යාත නිර්‍වාණයට අනතුරුවැ එහිමැ ඇතුළත් ස්කන්‍ධ සතරකින් යුත් අර්‍හත් ඵල චිත්තය ද, යන දෙකින් අර්‍හත්ත්‍වය රාගාදීන්ගේ ක්‍ෂයාන්තයෙහි උපදනා හෙයින් කාර්‍ය්‍යයෙහි කාරණොපචාර වශයෙන් ගෙන රාගාදීන්ගේ ක්‍ෂය නාමයෙන් වදාළහ.

 

රාගාදීන් ක්‍ෂය කරන අර්‍හත්මාර්‍ගඥානයට ආලම්බන උපනිශ්‍ර‍ය ස්ථානය වන නිර්‍වාණය ස්ථානයෙහි ස්ථානි උපචාරයෛන් ගෙන රාගක්ඛයාදි නාමයෙන් වදාළහ. නිර්‍වාණයෙහි රාගාදීන් අනුත්පාද නිරෝධය වන හෙයිනි.

 

මෙසේ රාගාදීන් ගේ ක්‍ෂයායන්තයෙහි උපදනා හෙයින් අර්‍හත්ත්‍වය රාගක්ඛයාදී නාමයෙන් ද, නිර්‍වාණයෙහි රාගාදිය ක්‍ෂයවන හෙයින් නිර්‍වාණය රාගක්ඛයාදී නාමයෙන් ද, වදාළ හෙයින් මේ සූත්‍ර‍ දෙකම නෙය්‍යාර්‍ථයයි දතයුතු. නො එසේ නිර්‍වාණය රාගක්‍ෂයාදි (මාත්‍ර‍ය) වුව බොහෝ දොස් සිදුවන හෙයිනි.

 

ඒ මෙසේ යි:- රාගාදීන් ගේ භඞ්ගක්‍ෂය ක්‍ෂණමාත්‍ර‍ කාලයක් පැවැත්මද,

 

එහෙයින් මැ අසඞ්ඛත ධාතු වූ නිර්‍වාණය සඞ්ඛත ලක්‍ෂණ වීම ද,

 

එහෙයින් මැ සම්‍යක් ව්‍යායාමයෙන් තොරවැ ස්වකෘතියෙන් මැ අධිගමය විය යුතු බව ද

 

එහෙයින්මැ රාගාදි ක්ලේශයන්ගෙන් නො මිදීම ද

 

එහෙයින් මැ රාගාදි එකොළොස් (11) ගින්නෙන් ඇවිල ගැනී ම ද

 

එහෙයින් මැ දුක් බවට පැමිණීම ද

එහෙයින් මැ උපශාන්ත නොවීම ද

රාග - දෝෂ - මේහ ක්‍ෂයයෙන් නිර්‍වාණය තුනක් වීම ද

සතර උපාදාන ක්‍ෂයයෙන් නිර්‍වාණ සතරක් වීම ද

පඤ්චනීවරණ ක්‍ෂයයෙන් නිර්‍වාණ පසක් වීම ද

ෂට් තෘෂ්ණා ක්‍ෂයයෙන් නිර්‍වාණ සයක් වීම ද

සප්තානුශයක්‍ෂයයෙන් නිර්‍වාණ සතක් වීම ද

අෂ්ට මිච්ඡත්තක්‍ෂයයෙන් නිර්‍වාණ අටක් වීම ද

නවතෘෂ්ණාමූලක්‍ෂයයෙන් නිර්‍වාණ නවයක් වීම ද

 

දස සංයොජනක්‍ෂයයෙන් නිර්‍වාණ දසයක් වීම ද

 

යෙළ දහසක් (1500) ක්ලේශක්‍ෂයයෙන් නිර්‍වාණ එපමණ වීම දැයි මෙසේ බොහෝ නිර්‍වාණ වේය යි ක්‍ෂය මාත්‍ර‍ය නිර්‍වාණ නො වේ.

 

(එසේම සෝන-සිගාලාදීන්ට උපදනා රාගාදිය ද ඒ ඒ ක්‍ෂණයෙහි ක්‍ෂයවන හෙයින් ඔවුන්ට ද නිවන් ලැබිය හැකි වන හෙයින් නිර්‍වාණය ඖදාරික ද වේ)

 

තවද, ගෝත්‍ර‍භු ක්‍ෂණයෙහි ක්ලේශක්‍ෂය නො වන බැවින් ද මාර්‍ගක්‍ෂණයෙහි ක්ලේශ ක්‍ෂය නොවූ බැවින් ද, නිර්‍වාණය ආලම්බනය නො වේය යන මේ ආදී දෝෂයන් ගේ පැමිණීම ද වේ.

 

පරවාදී:- යම් ක්‍ෂයයක පටන් නැවත ක්ලේශයන් ගේ නො පැවැත්ම වේ නම් එ පර්‍ය්‍යාවසානය වූ ක්ලේශක්‍ෂසය නිර්‍වාණය ය. (පළමු පළමු වන්නා වූ ක්‍ෂය ය නො වේ.)

 

සකවාදී:- ‘සියල්ල අවසාන වූ ක්‍ෂය ය නිර්‍වාණය වේ ය’යි කියා නම් එද නො යෙදේ. එසේ නියම කළ හැකි මාර්‍ගඵලයනට අරමුණු වන්නා වූ එබඳු නිර්‍වාණයක් නැති හෙයිනි.

 

(තවද පශ්චිම භාවයෙන්, තුන්වන ඇත්බැව්හි අරාගාදීන් ගේ ආදීනව දැක ධ්‍යාන භාවානවෙන් ක්ලේශ විෂ්කම්භනය කොට නො පිරිහුණු ධ්‍යානයෙන් බඹලොව ඉපිද එහි ආයු ඇතිතාක් සිට ඉන් සැව මෙහි ඉපිද කාමයෙහි වීතරාගීවැ පැවිදිවැ අර්‍හත්ත්‍වයට පැමිණි පිප්ඵලී මානවකයා ද ප්‍ර‍ථම වයසෙහි කාමයෙහි කළකිරී ධ්‍යානයෙන් ඒ ක්ලේශ විෂ්කම්භනය කොට පශ්චිම වයසෙහි අර්‍හත්ත්‍වයට පැමිණියේ ද, යන මොහු දෙදෙනම විෂ්කම්භනයෙහි පටන් නූපදනා හෙයින් පළමු ධ්‍යාන ලැබූ කලම කෙලෙස් නැසුවෝ වෙත්නම් (එසේ වන්නා) ආර්‍ය්‍ය මාර්‍ගයෙන් කවර ක්ලේශයක් ක්‍ෂය කරන්නාහු ද ඔවුන්ට ආර්‍ය්‍යමාර්‍ගය උපදනා කල ඉන් නැසීමට අභිනව කෙලෙස් උපදනාහුද නැත්මැයි. එසේ වුවද ඒ ක්ලේශ ක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය ද, පෙර කී සේ, ඉත්තර කාල ප්‍ර‍වෘත්ති ආදි දෝෂයෙන් නොමිදෙන හෙයින් ද, ආර්‍ය්‍යමාර්‍ගයම නිර්‍වාණය වන හෙයින් ද, එ සේ නො කිය යුතු)

 

ඒ එසේමැයි:- ආර්‍ය්‍ය මාර්‍ගය ක්ලේශයන් ක්‍ෂය කරයි. එහෙයින් එයම ක්‍ෂය යැයි කියනු ලැබේ. ආර්‍ය්‍ය මාර්‍ගයෙන් ක්ලේශයන් ක්‍ෂය කළ තැන් පටන් නැවත ක්ලේශයන්ගේ ප්‍ර‍වෘත්තිය නො වේ. යම් සේ නිරුද්ධ වූවෝ නැත්තාහුද, එසේ මැ අනුත්පන්නයෝ ද නැත්තාහුමය යි, අභාව සාමාන්‍යයෙන් නිරෝධ සද්‍යශ හෙයින් අනුත්පත්තියම නිරෝධය වූයේ අනුත්පාද නිරෝධය යැ. ඒ මාර්‍ගයෙන් ක්ලේශ ක්‍ෂය කිරීම ඉපදීමට සුදුසු ක්ලේශයන් ගේ නූපදනා ස්වභාවයට පැමිණවීමය. එහෙයින් මැ ක්‍ෂය යයි කියනු ලැබේ.

 

මෙසේ අනුත්පාද නිරෝධය කරන්නා වූ මාර්‍ගයට ආලම්බනය වූ නිර්‍වාණය මුඛ්‍යාර්‍ථ හෙයින් ඒ අනුත්පාදනිරෝධයට ඉඳුරා උපනිශ්‍ර‍ය නොවනුයෙන් ස්ථානෝපචාර හෙයින් ක්‍ෂය යයි කියනු ලැබේ.

 

අර්‍හත්මාර්‍ගය රාගාදිය ක්‍ෂය කෙරේ. නිර්‍වාණය එය නැවත නූපදනා සේ කෙරේ. එ දෙකටම ආලම්බනය නිර්‍වාණය ය. මෙසේ නිර්‍වාණය ක්ලේශ ක්‍ෂයට අනන්තරොපනිශ්‍ර‍ය වේ. එහෙයින් එයට උපචාර වශයෙන් ක්‍ෂය යයි කියනු ලැබේ.

 

(ආයුෂයට හේතු වූ ඝෘතයට ආයුෂයැ යි කියන්නා සේය. එලොපචාර හෙයිනි)

 

අර්‍හත්ත්‍වය ක්ලේශයන් ගේ ක්‍ෂයාන්තයෙහි උපදී. එබැවින් ක්‍ෂය නම් වී.

 

පරවාදී:- නිර්‍වාණය (ස්වරූපයෙන්) ඇත්තේ වී නම් කවර හෙයින් එසේ නො වදාළ සේක ද

 

සකවාදී:- ඉතා සියුම් හෙයිනි. ඒ බව් “ඉපදම්පි ඛො ඨානං දුද්දසං[573] “මේ ස්ථානය ද දැකීමට ඉතා දුෂ්කර ය” යනාදීන් ධර්‍ම ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන භාග්‍යවතුන් වහන්සේ ගේ සිතට ධර්‍ම දේශනාවෙහි නිරුත්සාහ බව් දැනවීමෙන් මැ ප්‍ර‍කට ය.

 

එසේම “තංහි තෙ මාගන්‍දිය අරියං චක්ඛුං නත්‍ථි යෙන ත්‍ටං අරියෙනි නෙය්‍යාසි නිබ්බාණං පස්සෙය්‍යාසි[574]

 

“මාගන්‍දියය! යම් ආර්‍ය්‍ය ඇසකින් තෝ නිවන් දක්නෙහි නම් එබඳු ආර්‍ය්‍ය ඇසක් තට නැත්තේ යැ”යි මෙසේ මාර්‍ග නැමැති ඇසින් දැක්ක යුතු නිර්‍වාණ නම් ස්වභාවයක් ඇති බව් වදාළහ. එහෙයින් නිර්‍වාණය ඇති බව ස්ථිර යැ.

 

තවද මේ නිර්‍වාණය මාර්‍ග ලාභී පුද්ගලයා විසින් මැ පැමිණිය යුතු හෙයින් අසාධාරණ යැ.

 

අසුවල් බුදුන් කල උපන්නේය යි මෙසේ පූර්‍ව කෙළවර නොදත හැකි හෙයින් අප්‍ර‍භව ය.

 

පරවාදී:- මාර්‍ගය ඇති කල්හි නිවන ඇතිවන හෙයින් ප්‍ර‍භවයයි නො කිය හැකි ද

 

සකවාදී:- නිර්වාණය මාර්‍ගයෙන් නො ඉපදිය යුතු වෙයි. හුදෙක් මාර්‍ගයෙන් පැමිණීම කටයුතු වේ. නිවනෙහි උත්පත්තියක් නැත් මැයි. එහෙයින් මැ අප්‍ර‍භව යැ. අප්‍ර‍භව හෙයින් ම ජරාමරණ නැත් මැයි. උත්පාද ජරා-මරණ නැතිහෙයින් මැ නිත්‍ය යැ.

 

පරවාදී:- ඒ නිර්වාණය මෙන් අණු-ප්‍ර‍කෘති-කාල පුරුෂාදිය ද නිත්‍යයැ යි නො කිය හැකි ද (මෙහි ශාස්වත භාවය නිත්‍යය යි ගැනේ)[575]

 

සකවාදී:- අසුවල් හේ තුවින් නිත්‍යයැ යි කිය හැකි හේතුවක් නැති හෙයින් ඒ අනු ආදිය නිත්‍යය යි කිව නොහේ.

 

පරවාදී:- නිර්‍වාණය නිත්‍ය හෙයින් අණු ආදිය ද නිත්‍යය යි නොකිය හැකි ද

 

සකවාදී:- නොකිය හැකි ය. හේතුලක්‍ෂණය නො යෙදෙන හෙයිනි.

 

විශේෂ:- ‘නිර්‍වාණය නිත්‍ය හෙයින් අණු ආදිය ද නිත්‍යයැ යි’ කිව පක්‍ෂධර්‍මත්‍වය නැති හෙයින් හේතු ලක්‍ෂණය නො යෙදේ. ‘අණු ආදීහු නිත්‍යයහ. උත්පාද-ස්ථිති-භඞ්ග-නැති හෙයිනි’ නිර්‍වාණය මෙනැයි. මෙසේ කියා නම් හෙද නැති අණු ආදිය අසිඬ හෙයිනි.

 

(‘අණු ආදීහු නිත්‍යයහ’ යනු ප්‍ර‍තිඥා යි.

‘උත්පාදාදිය නැති හෙයිනි’ යනු හේතු යි.

 

‘නිවණ මෙනි’ යනු දෘෂ්ටාන්තයි) මේ ප්‍ර‍තිඥාවෙහි ධර්මි අසිද්ධිය වේ. එහෙයින් හේතුව ආශ්‍රාය සිද්ධ යි.

 

අප්‍ර‍භවත්‍වාදීන් කියන ලද යුක්තීන් වනාහි නිවනම නිත්‍යය. අප්‍ර‍භවත්‍වය ද අප්‍ර‍ත්‍යය බැවිනි. එහෙයින් මැ පූර්‍වකෝටිය ගේ අභාවය වේ. (මෙසේ ‘නිර්වාණය ප්‍ර‍ත්‍යය රහිත ය. එහෙයින් මැ අප්‍ර‍භව ය. අප්‍ර‍භව හෙයින් මැ පූර්‍වකෝටි අභාවය වේය’ යනු නිශ්චිතයි.

 

තව ද නිර්‍වාණය රූපස්වභාවය නැති හෙයින් අරූප ය.

 

(විකරවීමය, අරමුණු හා ගැටීමය, කලාපවශයෙන් පැවැත්ම ය. සප්‍රදේශ බව ය, යනාදිය රූපස්වභාවය යි.)

 

නිර්‍වාණය එසේ කිසිවක ගැටීමක් හෝ අසුවල් දිශායෙහි වේ යයි දිශා නියමයක් හෝ නැතැයි දක්වයි.

 

ඒ එසේ මැයි:- ප්‍ර‍තිෂ්ඨා රහිත හෙයින් නිවන අසුවල් දිසාහි හෝ අසුවල් දේශයෙහි හෝ වේය යි නො දක්වයි.

 

යටත් පිරිසෙයින් කල්ප ලක්‍ෂයක් වත් දැඩි වීර්‍ය්‍ය කොට සම්‍යක් ප්‍ර‍ධන් වීර්‍ය්‍යයෙන් නිපදවන ලද (ලෝකෝත්තර ඥානයෙන් සාක්‍ෂාත් කළයුතු බැවින් ද, (නිර්‍වාණය ආර්‍ය්‍යයනය ප්‍ර‍ත්‍යක්‍ෂ සිද්ධ බව මින් දැක් වී.)

 

මතු සඳහන් පරිදි සර්‍වඥ වචනයෙන් ද, (මින් අනාර්‍ය්‍යයනට ආගම සිද්ධ-අනුමාන සිද්ධ බව දැක් වී)

 

මේ දෙකින්ම “අනුපලබහනීයතො” යී පෙරකී හේතුව අසිද්ධ බව ප්‍ර‍තීත කළහ.

 

මෙසේ පරමාර්‍ථ වශයෙන් නිර්‍වාණය ගේ විද්‍යමානත්‍වයට හේතු යුක්ති දක්වා නිගමනය කොට එයට සාධක වූ ආගම දක්වති.

 

“අත්‍ථි භික්ඛවේ අජාතං අභුතං අකතං අසඞ්ඛතං”[576] යි මහණෙනි, (1) අජාත, (2) අභුත (3) අකෘත (4) අසංස්කෘත නිර්‍වාණය ඇත්මැ යි’ වදාළහ. මේ සිවුපදය මැ නිර්‍වාණයට (පර්‍ය්‍යාය) නාමයි.

 

විස්තර:-

(1) වේදනාදිය මෙන් හේතු ප්‍ර‍ත්‍යය සඞ්ඛ්‍යාත කාරණයන් ගේ එක්වීමෙන් නො නිපන් හෙයින් අජාත යැ.

 

(2) ප්‍ර‍තශ රහිත වැ (ඉබේ) නො නිපන් හෙයින් අභුත යැ.

 

(3) මෙසේ (අජාත අභුත හෙයින්) යම් කාරණ්‍යකින් නො කළ හෙයින් අකෘත යැ.

 

(4) (රූපාදි සඞ්ඛත ධර්‍මයනට මෙන් ජාත-භූත-කෘත භාවය නැති හෙයින් මැ (නිර්‍වාණය) අසංස්කෘත යි.

 

ප්‍ර‍තිලෝම වශයෙන් හෝ ප්‍ර‍ත්‍යයන් එක්වැ කරන ලද්දේ සඞ්ඛත යැ. එසේ සඞ්ඛත නො වූයේ හෝ සඞ්ඛත ලක්‍ෂණ රහිත වූයේ අසඞ්ඛත යි.

 

මෙසේ නොයෙක් කාරණයෙන් නිපන් බව ප්‍ර‍තිෂේධ කළ කල “ප්‍ර‍කෘතිවාදීන් ගේ[577] ‘ප්‍ර‍කෘතිය සේ එකම කාරණයකින් කරන ලද්දේ දැයි’ ආශඞ්කායෙහිලා ‘කිසිවකුන් නො කරන ලදැයි’ දැක්වීම පිණිස ආකෘතයැයි ද, ප්‍ර‍ත්‍යය රහිත වුව ද, තෙමේ ම වූයේදෝ යි ආශඞ්කායෙහි ලා එය වළකනු පිණිස අභුතැයි ද, මෙහි ‘මේ අසඞ්ඛත - අභූත භාවය සර්වාප්‍ර‍කාරයෙන් අජාත ධර්‍ම ස්වභාවය නිසායැයි’ දැක්වීම සඳහා අජාතයැයි ද, වදාළහ.

 

(මේ පිළිබඳ ටීකාගත විස්තරය ද මෙහි ලා යථාර්ථාවබෝධයට ඉවහල් වන හෙයින් මෙතන්හි දැක්වේ)

 

මෙසේ බුදුහු පරමාර්ථ වශයෙන් නිර්‍වාණය ඇති බැව් ප්‍ර‍කාශ කෙරෙති. ‘හෙද මම ධර්‍මෙශ්වරවෙමි, ධර්මාධිපති වෙමියි, තමාගේ ආඥා මාත්‍රයෙන් නොදක්වති. හුදෙක් දසපරමයන් (මේ අත්බැව්හි නිර්‍වාණය අවබෝධ කළ නොහැක්කවුන්) කෙරෙහි ද අනුකම්පාවෙන් යුක්තීන් දක්වති.

 

ඒ මෙසේයි:- “නො චෙතං භික්ඛවෙ අභවිස්ස අජාතං අභුතං අකතං, අසඞ්ඛතං න ඉධ ජාතස්ස, භුතස්ස, කතස්ස, සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ, යසමාච ඛො භික්ඛවෙ අත්‍ථි අජාතං, අභුතං, අකතං, අසඞ්ඛතං තස්මා ජාතස්ස, භුතස්ස, කතස්ස, සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායති”[578]

 

‘මහණෙනි, (පෙර කී සේ) අජාතාදි ස්වභාව ඇති අසඞ්ඛත ධාතුව නැත්තේ වී නම් මේ ලෝකයෙහි ජාතාදි ස්වභාවය ඇති රූපාදි ස්කන්‍ධ පඤ්චක සඞ්ඛ්‍යාත සංස්කාරයාගේ නිස්සරණය නො පැනේ. (සම්භව නොවේ.)

 

නිර්‍වාණය ආලම්බන කොට පවත්නා සම්‍යක් දෘෂ්ටි ආදි ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයන් නිරවශේෂයෙන් ක්ලේශයන් සුමච්ඡේදය කරන හෙයින් මේ සියලු වෘත්ත දුඃඛයා ගේ (අපගමය) නිස්සරණය පැනේ. මෙසේ ව්‍යතිරෙක වශයෙන් නිර්‍වාණයා ගේ අස්තිත්‍වය දක්වා අන්‍වය වශයෙනුදු දක්වන සේක් “යස්මාච ඛො” යනාදිය වදාළහ. ‘අජතාදි ස්වභාවය වූ අසඞ්ඛත ලක්‍ෂණ නිර්‍වාණය ඇති හෙයින් මැ ජාතාදි ස්වභාවය වූ සඞ්ඛතයා ගේ නිස්සරණය පැනේ යැ’ කියා යි.

 

(i)      එසේම අප්පච්චයා ධම්මා, අසඞ්ඛතා ධම්මා[579]

 

(ii)    අත්‍ථි භික්ඛවෙ තදායතනං යත්‍ථ නෙව පඨවි[580]

 

(iii) ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බ සඞ්ඛාරසමථො සබ්බූපධි පටිනිස්සග්ගො[581]

 

(iv)    අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි අසඞ්ඛත ගාමිනිඤ්චපටිපදං[582] යනාදි අනේක සූත්‍රයෙන් ද පෙර කී සේ.

 

(v) “අත්‍ථි භික්ඛවෙ අජාතං” යනාදි සූත්‍රයෙන් ද, නිර්‍වාණ ධාතුහුගේ පරමාර්‍ථ වශයෙන් සත් (විද්‍යමාන) ත්‍වය සියලු ලෝකයාට අනුකම්පාකළ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් ප්‍ර‍කාශ කරන ලදී.

 

එහෙයින් ශාසනයෙහි පහන් සිත් ඇති නිවන් ප්‍ර‍ත්‍යක්‍ෂ නොකළාවූ ද, නුවණ ඇත්තවුන්ට සැක නූපදී.

 

එහෙත් (කරුනු පිරිසිඳින බුද්ධි ඇති) පරීක්‍ෂණ බුද්ධිමත් පුද්ගලයින්ගේ විමති විනෝදය පිණිස මෙහි අදහස් උදුරු දැක්වීමෙන් කළ යුක්ති විචාරණ්‍ය මෙසේයි.

 

පරිඤ්ඤෙය්‍ය බැවින් සඞ්ඛත පර්‍ය්‍යාපන්න වූ (ස-උත්තර) කාම-රූප ධර්‍මයන්ට ප්‍ර‍තිපක්‍ෂ වූ එයට විරුද්ධ (භාවය) වූ නිඃසරණය පැනෙන හෙයින් එබඳු වූ නිර්වාණ ධර්‍මයක් විය යුතුය. ඒ නිඃසරණය වූ අසඞ්ඛත ධාතුව ඇත්මැයි.

 

වැඩියක් කුමටයැ. සඞ්ඛත ධර්‍මයන් අරමුණු කොට පවත්නා විදර්‍ශනා ඥානය යි කියන ලද අනුලෝම ඥානය ක්ලේශයන් තදඞ්ග වශයෙන් ප්‍ර‍හාණය කෙරේ. සමුච්ඡේද වශයෙන් ප්‍ර‍හාණයට සමර්‍ථ නොවේ.

 

එසේම සම්මුති සත්‍යය ආලම්බන කොට ඇති ප්‍ර‍ථම ධ්‍යානාදීන්හි ඥානය විස්කම්භන වශයෙන්මැ ක්ලේශ ප්‍ර‍හාණය කෙරේ. සමුද්ඡේද වශයෙන් ප්‍ර‍හාණයට සමර්‍ථ නොවේ.

 

මෙසේ සඞ්ඛතධර්‍මාලම්බන වූ ද, සම්මුතිසත්‍යාලම්බනවූ ද, ඥානය ක්ලේශයන් සමුච්ඡේද වශයෙන් ප්‍ර‍හාණය කිරීමට අසමර්‍ථ හෙයින් ඔවුන් සමුච්ඡේද වශයෙන් ප්‍ර‍හාණය කරන ආලම්බනයක් විය යුතු ය. ඒ වූකලි අසඞ්ඛත ධාතුව මැයි. එහෙයින් “අත්‍ථිභික්ඛවෙ අජාතං, අභුතං, අකතං අසඞ්ඛතා” යනාදීන් නිර්වාණයා ගේ පරමාර්‍ථ වශයෙන් විද්‍යාමනත්වය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

 

සර්වඥයන් වහන්සේ යමක් වදාළ සේක් නම් ඒ අවිපරීතාර්‍ථ වචනයක්ම ය. ඒ වනාහි “සබ්බෙ සංඛාරා අනිච්චා, සබ්බෙ සංඛාරා දුක්ඛා සබ්බෙ ධම්මා අනත්තා”[583] යි සියලු සංස්කාර ඇතිව නැතිව හෙයින් අනිත්‍ය ය. උදය-ව්‍යය දෙක්හි පෙළන හෙයින් දුක් ය. වශයෙහි නො පවත්නා හෙයින් සියලු ධර්‍ම අනාත්මයැ යි මෙසේ අනිත්‍ය-දුඃඛ ලක්‍ෂණයට සංස්කරයන් ද, අනාත්ම ලක්‍ෂණයට (සඞ්ඛත පමණක් නොව) අසඞ්ඛත නම් වූ නිර්වාණය ද, ඇතුළත් වන හෙයින් ‘සබ්බෙ ධම්මා’ යි වදාළහ.

 

එසේම නිර්වාණ ශබ්දය යථාර්‍ථවත් වන හෙයින් පරමාර්‍ථ විෂයෙහි ද, සීහ ශබ්දය මෙන් උපචාර හෙයින් අමුඛ්‍යාර්‍ථයෙහි ද පවතී.

 

මෙසේ යුක්ති විචාරණයෙන් අසංඛත ධාතුහු ගේ පරමාර්‍ථ වශයෙන් අස්තිත්‍වය දතයුතු මේ ආදීන් හෙවත් ප්‍ර‍ත්‍යක්‍ෂ සිද්ධ අගාම සිද්ධ-අනුමාන සිද්ධ හෙයින් අසංඛත ධාතු සංඛ්‍යාත නිර්වාණයා ගේ පරමාර්‍ථ හෙයින් විද්‍යමානත්‍වය දතයුතු.

 

(තවද විස්තරාර්ථින් ටීකාව බලා දත යුතු)

 

මේ දුඃඛ නිරෝධ නිර්දේශ වර්ණනාවය ය.

 

දුඃඛනිරෝධගාමිනී ප්‍ර‍තිපදාව

 

දුඃඛනිරෝධගාමිනී ප්‍ර‍තිපදා නිර්‍දෙශයෙහි “කතමං දුක්ඛනිරොධ ගාමිනී පටිපදා අරියසච්චං”[584] යනාදීන් වදාරන ලද අෂ්ට ධර්‍මයෝ පෙර ස්කන්‍ධ නිර්‍දෙශයෙහි (සංස්කාර ස්කන්‍ධයෙහි) අර්‍ථ වශයෙන් ද ප්‍ර‍කාශ කරන ලදහ. (එහෙත් මාර්‍ග වශයෙන් නොකියන ලදහ.)

 

මෙය වනාහි එවකට පවත්නා ඒ මාර්‍ගධර්‍මයන් ගේ ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මයන් නැසීම් ආදී ප්‍ර‍වෘත්ති ආකාරයෙන් විශේෂාවබෝධය පිණිස කියම්හ. (පෙර විඥානස්කන්‍ධ නිර්‍දෙශයෙහි කී ලෞකික කුශල චිත්තොත්පාදයෙහි විරතීහු නානා ක්‍ෂණිකවැ ම උපදනාහු ය. සෙස්සෝ එහි ද එවකට උපදනාහ.)

 

සම්මාදිට්ඨි ආදීන් සැකෙවින් මෙසේ ය.

 

1. සම්මාදිට්ඨි:- චතුස්සත්‍ය ප්‍ර‍තිවේධය පිණිස පූර්‍වභාග ප්‍ර‍තිපදා පූරණ වශයෙන් පිළිපන්නා වූ (ආර්‍ය්‍ය මාර්‍ග ප්‍ර‍තිවේධ සඞ්ඛ්‍යාත යො කර්‍මයෙහි යෙදුණු) යෝගීහූගේ නිර්‍වාණලම්බන වූ අවිද්‍යානුශය සමුච්ඡේද කරන (සෘජුව අවිද්‍යාව නසන) හෙයින් විද්‍යා නම් වූ ප්‍ර‍ඥා චක්‍ෂුස සම්මාදිට්ඨි නම. එය අවිපරීත දැකීම ලක්‍ෂණ යැ. චතුස්සත්‍යය ප්‍ර‍කාශ කිරීම එහි කෘත්‍ය යැ. අවිද්‍යාන්‍ධකාර විධ්වංසනය කිරීම වැටහෙන ආකාරය යි.

 

2. සම්මාසඞ්කප්ප:- එසේ මාර්‍ග සම්‍යක් දෘෂ්ටියෙන් සම්පූර්ණ දෘෂ්ටි ඇත්තහු ගේ ඒ හා සම්ප්‍ර‍යුක්ත වූ කාම සංකල්පාදි මිථ්‍යා සංකල්ප සමුච්ඡේද කරමින් සිත නිර්‍වාණලම්බනයෙහි අභිනරොපණය (නැංවීම) කරන්නේ සම්මාසඞ්කප්ප නමි. එය සිත මනාව නිවන් අරමුණට නැංවීම ලක්‍ෂණ යැ. සිත නිවනෙහි ඇලවීම එහි කෘත්‍යය යැ. කාමසංකල්පාදි මිථ්‍යාසංකල්ප ප්‍ර‍හාණය වැටහෙන ආකාරයයි.

 

3. සම්මා වාචා:- එසේ සම්‍යක් දෘෂ්ටි, සම්‍යක් සංකල්පයෙන් ද යුක්ත වූවහුගේ ඒ හා සම්ප්‍ර‍යුක්ත වූ චතුර්විධ වාග් දුශ්චරිතය සමුච්ඡේද ප්‍ර‍හාණය කරමින් මිථ්‍යා වචනයෙන් විරමණය සම්මා වාචා නමි. එය සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් මනාකොට නුවණින් ගැනීම ලක්‍ෂණකොට ඇත්තේය. මිථ්‍යා වචනයෙන් වෙන්වීම එහි කෘත්‍යය යැ. මිථ්‍යා වචනයාගේ ප්‍ර‍හාණය වැටහෙන ආකාරය යි.

 

4. සම්මාකම්මන්ත:- ඒ මිථ්‍යා වචනයෙන් වෙන්වූවහුගේ ඒ සම්‍යක් වචනය හා සම්ප්‍ර‍යුක්ත වූ ප්‍රාණ වධාදි මිථ්‍යා කර්‍මාන්ත සමුච්ඡේද කරමින් කාය දුශ්චරිතයෙන් විරමණය සම්මාකම්මන්ත නමි. එය තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් මනාව නගා සිටුවීම ලක්‍ෂණය යැ. මිථ්‍යා කර්‍මාන්තයෙන් වැළකීම එහි කෘත්‍යය යැ. මිථ්‍යා කර්‍මාන්ත බැහැර කිරීම වැටහෙන ආකාරය යි.

 

5. සම්මා ආජීව:- ඒ යෝගීහු ගේ ඒ සම්මාවාචා, කර්‍මාන්ත දෙකෙහි විශුද්‍ධිය වූ ඒ හා සම්ප්‍ර‍යුක්ත වූ කුහන- ලපනාදීන් සමුච්ඡේදය කරන මිථ්‍යා ආජීවයෙන් වෙන්වීම වූ යම් විරතියෙක් වේ නම් එය සම්මා ආජීව නමි. එය සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් පිරිසිදු කිරීම ලක්‍ෂණය යැ. ඤායජීවයා ගේ (බුද්ධපතිකුඨ නො වූ මනා ආජීවයා ගේ පැවැත්මට හේතුවන හෙයිනි.) පැවැත් එහි කෘත්‍යය යැ. මිථ්‍යාජිවිකා ප්‍ර‍හාණය වැටහෙන ආකාරය යි.

 

6. සම්මා වායාම:- (අනතුරුව ඒ සම්මාවාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව සඞ්ඛ්‍යාත සීල භූමියෙහි සිටියහු ගේ) සියලු අකුසල් නසන කුසීත බව සිඳින වීර්‍ය්‍යය සම්මා වායාම නමි. එය උත්සාහ කිරීම ලක්‍ෂණය යැ. නූපන් අකුසල් නිපදවීම, උපන් අකුසල් පහකිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් රැකීම ද එහි කෘත්‍යය යැ. මිථ්‍යාව්‍යායාම ප්‍ර‍හාණය වැටහෙන ආකාරය යි.

 

7. සම්මා සති:- මෙසේ ව්‍යායාම ඇත්තහු ගේ අශුභාදීන්හි ශුභාදි ආකාරයෙන් වැටහෙන ස්වභාවය බැහැර කරන්නා වූ චිත්තයා ගේ නුමුළා බව සම්මාසති නමි. ආලම්බනයා ගේ යථා ස්වභාවය වැටහීම එහි ලක්‍ෂණය යැ. එහි නුමුළා බව කෘත්‍යය යැ. මිථ්‍යා ස්මෘති ප්‍ර‍හාණය වැටහෙන ආකාරයයි.

 

8. සම්මා සමාධි:- ඒ ස්මෘතිය හා සම්ප්‍ර‍යුක්ත වූ මිථ්‍යා සමාධිය නසන එත්තෛකාග්‍ර‍තාවය සම්මාසමාධි නමි. එය අවික්‍ෂේපය ලක්‍ෂණය යැ. මනාව පිහිටීම එහි කෘත්‍යය යැ. මිථ්‍යාසමාධි ප්‍ර‍හාණය කිරීම (ඵලය) වැටහෙන ආකාරය යි.

 

මේ දුඃඛ නිරෝධ ගාමිනී ප්‍ර‍තිපදා නිර්‍දෙශයෙහි ක්‍ර‍මය යි.

 

මෙසේ මේ සත්‍ය නිර්‍දෙශයෙහි ජාත්‍යාදීන් ගේ විනිශ්චය දතයුතු.

 

9. චතුරාර්‍ය්‍ය සත්‍යය දැනගන්නා ඥානයාගේ කෘත්‍යය වශයෙන් ද විනිශ්චය

 

(i)      අනුබොධ ඥානය

(ii)    ප්‍ර‍තිවේධ ඥානය යි ඥානය දෙපරිදි වේ.

 

(i) නිරෝධ-මාර්‍ග සත්‍යයන් අනුශ්‍ර‍වාදී වශයෙන් මෙනෙහි කිරීමේදී කාමාවචර මහා කුසල චිත්තයෙහි උපදනා ප්‍ර‍ඥා චෛතසිකය අනුබෝධ ඥානය යැ. එය ලෞකික යැ.

 

(ii) ප්‍ර‍තිවේධ ඥානය ලෝකෝත්තරයැ. එය නිවන් අරමුණු කොට දුඃඛ සත්‍යය පිරිසිඳින, සමුදය සත්‍යය ප්‍ර‍හාණය කරන, නිරොධ සත්‍යය සාක්‍ෂාත් කරන, මාර්‍ගසත්‍යය වඩන මාර්‍ග චිත්ත යෙහි උපදනා ප්‍ර‍ඥාවයි. ප්‍ර‍දීපය අඳුරු නැසීමය, තෙල් සිඳුවීමය, එළිය පැතිරැවීමය, පහන් වැටිය දැවීමය, යන කෘත්‍ය සතරක් එකවිට කරන්නාක් මෙනි.

 

ඒ මෙසේයි:- යො ඛො භික්ඛවෙ දුක්ඛං පස්සති, දුක්ඛ සමුදයම්පි සො පස්සති. දුක්ඛ නිරොධම්පි පස්සති දුක්ඛ නිරොධ ගාමිනී පටිපදම්පි පස්සති[585] ‘යමෙක් දුක දකීනම් හේ දුක්ඛ සමුදය ද (ප්‍ර‍හණයන කිරීම් වශයෙන්) දකී. දුක්ඛ නිරොධය ද (සාක්‍ෂාත් කිරීම් වශයෙන්) දකී, දුක්ඛ නිරොධගාමිනී ප්‍ර‍තිපදාව ද (පිළිපැදීම් වශයෙන්) දකී’ යයි කියායි. මින් එකක් දක්නේ පෙර පසු නොවී එවකට සියල්ල දකී. මේ ඥාන කෘත්‍ය විස්තරය ඥාන දර්‍ශන විශුද්ධියෙහි මතු පළ වේ. ලෞකික ඥානයෙහි පරියුඨාන අභිභවන වශයෙන් (ශුද්ධ සංස්කාරා පුඤජ වශයෙන්) මෙහි දුඃඛ ඥානය සත්කාය දෘෂ්ටිය වළකයි. සමුදය ඥානය හේතු-ඵල පරම්පරාවගේ අවිච්ඡෙද වශයෙන් දැකීමෙන් උච්ඡේද දෘෂ්ටිය වළකයි.

 

විස්තර:- “ලොක සමුදයං ඛො කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලොකෙ නත්‍ථිතා සා නහොති”[586] ‘කච්චානය! ලෝක සමුදයය තතු සේ සම්‍යක් ප්‍ර‍ඥාවෙන් දක්නහු ගේ ලෝකයෙහි නාස්තික දෘෂ්ටියෙක් වේ නම් ඒ පහවේ’ යයි වදාළ හෙයින් සමුදය දැනීමෙන් හේතු-ඵලයන් ගේ අවිච්ඡේදය වන හෙයින් උච්ඡේද දෘෂ්ටිය සිඳේ.

 

“ලොක නිරොධං ඛො කච්චාන -ලෙ- පස්සතො යා ලොකෙ අත්‍ථිතා සා න හොති”2 කච්චානය! ලෝක නිරෝධය සම්‍යක් ප්‍ර‍ඥාවෙන් දක්නහු ගේ ලෝකයෙහි අස්තිත්‍ව සඞ්ඛ්‍යාත ශාස්වත දෘෂ්ටියක් වේ නම් එය ප්‍ර‍හීණ වේ’ යයි වදාළ හෙයින් නිරෝධය දැනීම ‘හේතු නිරෝධයෙහි ඵල නිරෝධය වේ’ යයි දන්නා හෙයින් ශාස්වත දෘෂ්ටිය ප්‍ර‍හීණ වේ.

 

“නත්‍ථි අත්තකාරෙ නත්‍ථි පරකොරෙ නත්‍ථි පුරිසකාරෙ”[587] (යනාදීන්)  ‘තමා කළ කර්‍මාදියට විපාක නැත. මෙරමා කළ කර්‍මාදියට විපාක නැත. පුරුෂයා කළ කර්‍මාදියට විපාක නැත, යනාදි අත්තකාරාදිය ප්‍ර‍ත්‍යක්‍ෂ සේ දක්නා හෙයින් ඒ මාර්‍ග ඥානයෙන් අකිරිය දෘෂ්ටිය ප්‍ර‍හීණ වේ.

 

“නත්‍ථිහෙතු නත්‍ථි පච්චයො සත්තානං සංකිලෙසාය අහෙතු අප්පච්චයා සත්තා සංකිළිස්සන්ති නත්‍ථි හෙතු -පෙ- විසුද්ධියා අහෙතු අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති”[588] සත්ත්‍වයන් ගේ කෙළසීමට හේතු ප්‍ර‍ත්‍ය ය නැති. අහේතු අප්‍ර‍ත්‍යය වැ සත්ත්‍වයෝ කෙළෙසෙති. සත්ත්‍වයන් ගේ විශුද්ධියට ද හේතු ප්‍ර‍ත්‍යය නැති අහේතු අප්‍ර‍ත්‍යයෙන් සත්ත්‍වයෝ විශුද්ධ වෙති’ යි යනාදි අහේතුක දෘෂ්ටිය ද (මෙහි අකිරිය දෘෂ්ටියෙන් ම ගැනේ) (විශුද්ධ) මාර්‍ග දර්‍ශනයෙන් ප්‍ර‍හීණ වේ.

 

තවද ක්‍ර‍මයෙකි:- ‘දුක්ඛ සත්‍ය ඥානය, සමුදය සත්‍ය ඵලය වූ දුක්ඛ සත්‍යාය ගේ අද්ධුවාදී භාවය දකීනුයි’ ඵලයෙහි වරදවා ගැනීම වලකා,

 

(1) ‘ඊශ්වරයා ලෝකය පවත්වයි, පිළියෙළ කරයි, නසායයි’ ඊශ්වර නිර්‍මාණවාදීහු කියති.

 

(2) ප්‍ර‍ධානයෙන් (ප්‍ර‍කෘතියෙන්) ලෝකය පහළ වෙයි. එහිමැ නැවත ඇලේය’ යි ප්‍ර‍කෘතිවාදීහු කියති.

 

(3) කාලය භූතයන් මවයි. කාලය සත්ත්‍වයන් නසයි. කාලය නිදන්නවුන් පුබුදුවයි. එහෙයින් කාලය ඉක්මවිය නොහේ, ය යි කාලවාදීහු කියති.

 

(4) ‘කටුවෙහි තියුණු භාවය මෙන් ද, ගිවුළු ඵල වටවන්නාක් මෙන් ද, මෘග-පක්‍ෂි-සර්පාදීන් නා නා අයුරින් විසිතුරු වන්නාක් මෙන් ද, ස්වභාවයෙන් මැ ලෝකය හටගනී. ප්‍ර‍කෘතියෙන් මැ විනාශ වේ’ ය යි ස්වභාවවාදීහුද කියති.

 

(5) ‘පරමාණුන්ගෙන් ලෝකය පවතී’ය යි ආජීවකයෝ කියති. (එද ස්වභාවවාදයෙහි මැ ඇතුළත් වේ.)

 

(6) ‘සියල්ල පූර්‍ව කර්‍ම හේතුවෙන් වේය’යි පුබ්බෙකතහෙතුවාදීහු කියති.

 

(7) ‘නොසිඳෙන හුයක ඇමුණු නො බිඳෙන මැණිකක් සේ ලෝකය නියත යැ. මෙහි කිසිවකු ගේ පුරුෂ කාර්‍ය්‍ය නැතැයි’ නියතිවාදීහු කියති.

 

(8) ‘ප්‍ර‍ජාව කැමති සේ පවතී. කැමති සේ නවති. කැමති සේ සැප දුක් විඳී. එහෙයින් ලෝකය ඉච්ඡානුරූපවැ වේ’ ය යි යදිච්ඡාවාදීහු කියති.

 

මෙකී අකාරණවාදී සංඛ්‍යාවට ප්‍ර‍ධානාදිය ඇතුළත් වේ සමුදය දර්‍ශනයෙන් ඒවා වළක්වයි.

 

තවද-

 

නිරොධඥානය, රාම උද්දකාදීන්ට (ආළාරකාලාම, උද්දකරාම පුත්‍ර‍) මෙන් අරූපලෝකයෙහිද, (නිගණ්ඨ) නාථපුත්‍රාදීන්ට මෙන් අසංඥසත්‍වයෙහි ද[589] මෝක්‍ෂයයි ගැනීම වළක්වයි.

 

(ආදි ශබ්දයෙන්, ප්‍ර‍ධාන සංඛ්‍යාත ප්‍ර‍කෘතිහු ගේ හෙවත් අව්‍යක්තයා ගේ මහත්ත්‍වාදිභාවයෙන් අප්‍ර‍කාශ භාවය හෝ ‘මම අනෙකෙක්මි. ප්‍ර‍කෘතිය අනෙකකැ යි’ මෙසේ පැවති ප්‍ර‍කෘති පුරුෂ දෙදෙනා අතර දැනීමෙන් ආත්ම-සුඛ-දුඃඛ-මොහයන් විභාග කොට නො ගැන්ම වැළකූ කල්හි කීපරිද්දෙන් ප්‍ර‍කෘතිය නො පවතී නම් ඒ විමොක්‍ෂයයි ගන්නා කපිල මතය ද,

 

බුද්‍ධි- සුඛ- දුඃඛ- ඊප්සා- ද්වේෂ- ප්‍ර‍යත්න- ධම්මාධර්‍ම- සංස්කාර යන නවවිධ ආත්ම ගුණයෙන් විප්‍ර‍යුක්ත වූවහු ගේ විමොක්‍ෂය වේය යන කණාද මතය ද,

 

පරබ්‍ර‍හ්මයා හා සහවාසය, සමීපවැ පැවැත්ම, එකීභාවයට පැමිණීම විමෝක්‍ෂය යන මිථයාවිමෝක්‍ෂය ද වළක්වයි.

 

මාර්‍ග ඥානය තෙමේ:- ඉන්ද්‍රිය පිනවීමය, පුත්‍ර‍මුඛ දර්‍ශනය යනාදිය හැර අපවර්‍ගයක් නැතැයි ගන්නා කාමසුඛල්ලිකානු යෝගය ද,

 

‘අනසන වෘත්තිය, කෙස් ඉගිලීම ආදි තපස්වරණය ද නග්න ශීල- ගෝශීල- කුක්කුර ශීලාදීන් ආත්මතාපනයෙන් මෝක්‍ෂය වේය, යන ආත්මකලමථුව ද යන මොවුන්ගේ වශයෙන් පැවති අවිශුද්ධි මාර්‍ගයෙහි විශුද්‍ධි මාර්‍ගය යි’ උපාය මාර්‍ගයෙහි වරදවා ගැනීම ද වළක්වයි.

 

එහෙයින් වදාළහ.

 

ලොකෙ ලොකප්පභවෙ - ලොකත්‍ථගමෙ සීවෙ ච තදුපායෙ

සම්මුය්හති තාව නරො - න විජානාති යාව සච්චානි[590]

 

‘සත්ත්‍වතෙමේ සත්‍යයන් අවබෝධ නොකරනතාක් සංස්කාර ලෝකයෙහි ද, සංස්කාර ලෝකයාගේ හේතුවෙහි ද, සංස්කාර නිරෝධය වූ නිර්වාණයෙහි ද, නිර්‍වාණාධිගමයට උපාය වූ මාර්‍ගයෙහි ද මුළා වේ.

 

මේ කෘත්‍ය වශයෙන් විනිශ්චය යි.

 

(10) අන්නර්‍ගතයෙන්ගේ ප්‍රභේද හෙයින් මෙසේ යි.

 

තෘෂ්ණාව ද, අනාශ්‍ර‍ව ධර්‍මයන්ද හැර සෙසු එක් අසූ (81) ත්‍රෛභූමික ධර්‍මයෝ දුඃඛ සත්‍යයෙහි ඇතුළත් වෙති.

 

ආධ්‍යාත්මික, බාහිර ද්වාදසායතනයෙහි කාම- භව- විභව- තෘෂ්ණාවශේයෙන් පැවති සතිස් (36) තෘෂ්ණා විචරිතයෝ සමුදය සත්‍යයෙහි ඇතුළත් හ. (ඒ ඒ භවයෙහි හසුරුවන හෙයින් විචරිත නමි.)

 

මෙහි ඛුද්දකවත්‍ථු විභඞ්ගයෙහි[591] ආ නයින් කාල විභාගය නො ගෙන මේ කියන ලදී. කාල විභාගයද සමග ගතහොත් අටතුරාසියයක් (108) වේ.

 

නිරෝධ සත්‍යය කිසිදු සංස්කාර ධර්‍මයක් හා මිශ්‍ර‍ නො වන හෙයින් එකෙක් මැයි.

 

(1)   සම්‍යක්දෘෂ්ටියෙහි විමංසිද්‍ධිපාදය, පඤඤින්‍ද්‍රියය, පඤ්ඤාබලය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය යන බෝධිපාක්‍ෂික ධර්‍මයෝ ඇතුළත් වෙති.

 

(2) සම්‍යක් සංකල්පය දැක්වීමෙන් නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යන ත්‍රිවිධ විතර්‍කයෝ ම දක්වන ලදහ.

 

විස්තර:- ලෞකික ක්‍ෂණයෙහි අලෝභ - මෛත්‍රී - කරුණා වශයෙන් සම්ප්‍රයෝග වන හෙයින් වෙන වෙන මැ වේ.

 

මාර්‍ගක්‍ෂණයෙහි ලෝභ ව්‍යාපාද විහිංසා සමුච්ඡේද වශයෙන් එවකට පවත්නා හෙයින් එකෙක් මැයි.

 

කාමවිතර්‍කයෙහි දෝෂ දැක ඒ නසන පිණිස ප්‍ර‍තිපන්නයාහට උපන් (මාර්‍ගයෙහි විතර්‍කය නෙක්ඛම්ම විතක්ක නම්වෙයි. සෙසු සෙ විතර්‍කය ද එසේ මැයි.

 

විශේෂ:- අශුභධ්‍යානය පාදක කොට ඉපද වූ මාර්‍ගයෙහි විතර්‍කය නෛෂ්ක්‍ර‍ම්‍ය විතර්‍ක නම් වේ.

 

මෛත්‍රීධ්‍යානය පාදකකොට ඉපද වූ මාර්‍ගයෙහි විතර්‍කය අව්‍යාපාද විතර්‍ක නම් වෙයි.

 

කරුණා ධ්‍යානය පාදක කොට ඉපද වූ මාර්‍ගයෙහි විතර්‍කය අවිහිංසා විතර්‍ක නම් වේය, යි (විභඞ්ග අටුවාහි2 කී හෙයින් නානා මාර්‍ගක්‍ෂණ වශයෙනුදු ගන්නේම ය යනු සන්නයි)

 

(3) සම්‍යක් වචන නිදර්‍ගනයෙන් මුසාවාදා වෙරමණී ආදි චතුර්විධ වාක් සුචරිතය සංග්‍ර‍හ වේ.

 

(4) සම්‍යක් කර්‍මාන්ත නිදර්‍ශනයෙන් පාණාතිපාතා වෙරමණි ආදි ත්‍රිවිධ කායසුචරිතය සංග්‍ර‍හ වේ.

 

(5) සම්‍යක් ආජීව මුඛයෙන් අලේපච්ඡතා, සන්තුඨිතාවෝ සංග්‍ර‍හ වෙති. මේ සියලු සම්‍යක් වචන, සම්‍යක් කර්‍මාන්ත, සම්‍යක් ආජීවයන් ආර්‍ය්‍යයන් කැමැතිවන සිල් හෙයිනි.

 

(භවන්තරයෙහි පවා ආර්‍ය්‍යයන් ජිවිත හේතුවිනුදු ව්‍යතික්‍ර‍මණය නො කරකනක හෙයිනි)

 

ඒ ශිලය ද ශ්‍ර‍ද්ධා හස්තයෙන් පිළිගතයුතු හෙයින් ශීලයා ගේ විද්‍යමානත්‍වයෙන් ශ්‍රදේධන්‍ද්‍රිය, ශ්‍ර‍ද්ධාබල, ඡන්‍දද්ධිපාදයෝ ඇතුළත් වූවාහු ය. (ඡන්‍දිද්‍ධිපාදය ශ්‍ර‍ද්ධානුගුණ හෙයිනි).

 

(6) සම්‍යක් ව්‍යායාමය ගැනීමෙන් සතර සම්‍යක්ප්‍ර‍ධන් වීර්‍ය්‍යය, වීර්‍ය්‍ය ඉන්‍ද්‍රියය, වීර්‍ය්‍ය බලය, විරියසම්බොජ්ඣඞ්ගය යන මේ ධර්‍මයෝ සංග්‍ර‍හ වෙති.

 

(7) සම්මාසතිය ගැනීමෙන් සතරසතිපට්ඨානය, සතිඉන්‍ද්‍රිය, සතිබලය, සතිසම්බොජ්ඣඞ්ගය යන මෙතෙක්ධර්‍මයෝ ගැනෙති.

 

(8) සම්මාසමාධිය ගැනීමෙන් සවිතර්‍ක=සවිචාර, අවිතර්‍කවිචාරමාත්‍ර‍, අවිතර්‍ක අවිතර්‍ක අවිචාර, යන ත්‍රිවිධ සමාධිහු ද, චිත්තසමාධිය, සමාධින්‍ද්‍රිය, සමාධීබය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයෝ ද ගැනෙති.

 

විස්තර:- චිත්තසමාධි නම් චිත්තිද්‍ධිපාදය යැ “විත්තං පඤ්ඤඤ්චභාවයං”යී මෙහි මැ චිත්ත ශීර්‍ෂයෙන් සමාධිය වදාළ හෙයින් සමාධි ශීර්‍ෂයෙන් චිත්තය ද කියයුතු වෙයි.

 

විශේෂ:- චිත්තිද්‍ධිපාද භාවනාවෙහි සමාධිය ද බලපවත්වන හෙයින් වීමංසිද්‍ධිපාදාදිය මෙන් ඉද්‍ධිපාදය යි නො කියා චිත්තසමාධියයි කියන ලදී.

 

පීති, පස්සද්ධි, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයන් සමාධි නොවතුදු සමාධියට උපකාර වන හෙයින් ගන්නා ලදි. “පීති මනස්සකායො පස්සම්හති. පස්සද්ධකායො සුකං වෙදෙති. සුඛීනො චිත්තං සමාධියති[592]

 

‘ප්‍රීති සිත් ඇත්තහු ගේ කාය දරථ සංසිඳෙති. සන්සුන් දරථ ඇත්තේ කායික සැප විඳියි සැප ඇත්තහු ගේ සිත සමාධිමත් වේය’ යි වදාළ හෙයින් පීති-පස්සද්‍ධිහු සමාධියට උපකාරයහ.

 

උපේක්‍ෂාව ද සමාධියට උපකාර වන හෙයින් හා සමාන කෘත්‍ය ඇති හෙයින් සමාධියෙහි ඇතුළත් වී.

 

අන්තර්ගතයන් ගේ ප්‍රභේද විනිශ්චයයි.

 

(11) උපමා වශයෙන්:- උසුලා යායුතු බැවින් ද, පෙළන හෙයින් ද දුඃඛ සත්‍යය බරක් වැනිය.

 

ඒ ඒ භවයෙහි ඉපදීම් සඞ්ඛ්‍යාත පීඩාවට හේතුවන හෙයින් සමුදය සත්‍යය බර ඉසිලීමක් මෙනි.

 

සංසාර ප්‍ර‍වෘත්ති දුක සංසිඳුවන හෙයින් නිරෝධ සත්‍යය බහාතැබීමක් මෙනි.

 

පැවැති දුක සංසිඳුවීමට හේතුවන හෙයින් මාර්‍ග සත්‍යය බර බහා තැබීම උපායක් මෙනි.

 

තවද පීඩා කරන හෙයින් දුඃඛ සත්‍යය රෝගයක් මෙනි.

 

ප්‍ර‍භව ලක්‍ෂණ හෙයින් සමුදය සත්‍යය රෝග නිදානය මෙනි.

 

නිරොධ සත්‍යය රෝග සංසිඳීම මෙනි.

 

දුඃඛ හේතුව නසන උපාය හෙයින් මාර්‍ග සත්‍යය බෙහෙතක් මෙනි.

 

තවද බාධක හෙයින් දුඃඛ සත්‍යය දුර්භික්‍ෂයක් මෙනි.

 

ප්‍ර‍භව හේතු හෙයින් සමුදය සත්‍යය අධික වර්‍ෂාවක් හෝ නියඟක් මෙනි.

 

ශාන්ති ලක්‍ෂණ හෙයින් නිරෝධ සත්‍යය සුභික්‍ෂයක් මෙනි.

 

දුඃඛ හේතුව නසන හෙයින් මාර්‍ග සත්‍යය සුවෘෂ්ටියක් මෙනි.

 

තවද වෛරීය, වෛරය, වෛර සංසිඳීමය, වෛර සංසිඳුවන උපාය යැ යන විසින් ද,

 

විෂ වෘක්‍ෂය, විෂ වෘක්‍ෂමූලය, මූල සිඳීමය, මුල සිඳින උපාය යැ යන විසින් ද

 

භයය, භයට හේතු ය, භය නැතිවීම ය, භය සංසිඳුවන උපාය යැ යනු විසින් ද,

 

මෙතෙරය, සැඬ පහරය, එතෙරය, එතෙරවීමේ උපායයැ යනු විසින් ද මේ උපමා පිළිවෙළින් යෙදෙති.

 

(මෙහි අනිෂ්ටාදි ස්වරූප පෙරකී සේ මැයි)

 

මේ මෙහි උපමා වශයෙන් විනිශ්චයයි.

 

(12) චතුෂ්ක වශයෙන් :-

මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන් අතුරෙහි

(1) දුඃඛ වූ ආර්‍ය්‍ය සත්‍ය නොවූ ධර්‍මයෙකුදු ඇති.

(2) ආර්‍ය්‍ය සත්‍ය වූ දුක් නොවූ ධර්‍මයෙකුදු ඇති.

(3) දුක් වූ ද ආර්‍ය්‍ය සත්‍ය වූ ද ධර්‍මයෙකුදු ඇති.

(4) දුක් නොවූ ආර්‍ය්‍ය සත්‍ය නොවූ ධර්‍මයෙකුදු ඇති.

සමුදය සත්‍යාදියෙහි ද මේනය මැයි.

 

විස්තර:- පෙරකී චතුෂ්කයෙහි (1) මාර්‍ගඞ්ග හැර මාර්‍ග සම්ප්‍ර‍යුක්ත චිත්ත-චෛතසික ධර්‍ම ද ඵල සිත් සතර ද “යදනිච්චංතං දුක්ඛං[593] යි ‘යමක් ඇතිවැ නැතිවේ නම් ඒ දුකයැයි’ වදාල වචනය පරිදි සංස්කාර දුඃඛ ව හෙයින් දුක් වේ. ආර්‍ය්‍ය සත්‍ය නො වේ. (පරිඤ්ඤෙය්‍ය-පහාතබ්බ-අසංඛත-නීය්‍යාන භාවයක් නැති හෙයිනි.)

 

(2) නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය වේ. දුක් නම් නොවේ. අන්‍ය සමුදය-මාර්‍ග සත්‍යද්‍වයය අනිත්‍ය හෙයින් ම, (සංස්කාර දුඃඛ හෙයින් දුක් වේ. (තථභාවෙයන්) පරිඤ්ඤෙය්‍ය අර්‍ථයෙන් දුඃඛාර්‍ය්‍ය සත්‍ය නො වේ.

 

ඒ මෙසේයි:- යම් ආර්‍ය්‍ය සත්‍යයක් පිරිසිඳ දැනීම බුදු සසුන්හි බඹසරවස් වෙසේ නම් ඒ සත්‍යයා ගේ පරිඤ්ඤෙය්‍ය කාත්‍යභාවයෙන් ආර්‍ය්‍ය සත්‍ය නොවේ. (ඒ සංස්කාර දුඃඛය පරිඤ්ඤෙය්‍ය සංඛ්‍යාත තථඅර්‍ථයෙන් දුඃඛාර්‍ය්‍ය සත්‍ය නොවන හෙයිනි)

 

(මේ වචනයෙන් සමුදය-මාර්‍ග යන ආර්‍ය්‍ය සත්‍යයෝ දෙදෙන දුඃඛය හ, දුඃඛාර්‍ය්‍ය සත්‍යයෝ නො වෙති. ‘ආර්‍ය්‍ය සත්‍යය හ. නදුඃඛයහයි’ කීවෙත්. ආර්‍ය්‍යසත්‍ය ශබ්දයාමැ පරකොට ඇති දුඃඛාදි ශබ්දයෝ පරිඤ්ඤෙය්‍යාදි භාවය කියති. එහෙයින් මැ ආර්‍ය්‍ය සත්‍ය ශබ්දාපේක්‍ෂක වූ දුඃඛ ශබ්දය සඳහා මාර්‍ග සම්ප්‍ර‍යුක්තයන් හා ශ්‍රාමණ්‍ය ඵලධර්‍මයන් ගේ ආදි පදයෙහි සංග්‍ර‍හ කරන ලද ආර්‍ය්‍යසත්‍ය ශබ්දාපෙක්‍ෂක වූ දුඃඛ ශබ්දය සඳහා සතරවන පෙදෙහි සංග්‍ර‍හ කරන ලදැයි දතයුතු යනු සත්‍යයි.)

 

(3) තෘෂ්ණාව හැර උපාදානස්කන්‍ධ පඤ්චකය පරිසමාප්ත්‍යර්‍ථ යෙන් දුඃඛ හා ආර්‍ය්‍ය සත්‍ය වේ.

 

විශේෂ:-  (තෘෂ්ණාව ද උපාදානස්කන්‍ධයෙහි ඇතුළත් වන හෙයින් එය වැළැක්ම පිණිසයැ තෘෂ්ණාව හැරයයි කීයේ)

 

(4) චතුර්විධ මාර්‍ග සම්ප්‍ර‍යුක්ත වූ චිත්ත-චෛතසික ධර්‍ම හා මාර්‍ග-ඵල චිත්තයෝ ද, යම් ආර්‍ය්‍යසත්‍යයක් පිරිසිඳීම සඳහා බුදුසසුන් වැද බඹසරවස් වෙසේ නම් ඒ සත්‍යයාගේ පිරිසිඳීම් අර්‍ථයෙන් දුඃඛ නොවෙයි. ආර්‍ය්‍යසත්‍ය ද නො වේ.

 

මේ දුඃඛ සත්‍යයෙහි චතුෂ්කනයයි.

 

සමුදයාදියෙහි ද මෙසේ චතුෂ්ක වශයෙන් යෙදිය යුතු (මෙය සත්‍යවිභඞ්ග අභිධර්‍ම භාජනියෙහි විස්තර වේ.)

 

ඒ සැකෙවින් මෙසේයි:- සමුදය චතුෂ්කයෙහි

 

තෘෂ්ණාව හැර සෙසු ක්ලේශයෝ ද, තෘෂ්ණාව හා සම්බන්‍ධ වූ අවශේෂ චිත්තොත්පාදයෝ ද “සමුදයො න අරියසච්චං” යන පූර්‍වපදයෙහි සංග්‍ර‍හ වේ.

 

සමුදය නො වූ දුඃඛ සත්‍යය “අරියසච්චං න සමුදයො” යන දෙවන පදයෙහි ඇතුළති.

 

තෘෂ්ණාව “සමුදයො චෙව අරියසච්චංච” යන තුන්වන පදයෙහි ඇතුළති.

 

මාර්‍ග සම්ප්‍ර‍යුක්ත ධර්‍ම හා සතර ඵල චිත්තයෝ “නෙව සමුදයො න අරියසච්චං” යන සිවුවන පදයෙහි සංග්‍ර‍හ වෙත්.

 

නිරෝධ චතුෂ්කයෙහි:- සංස්කාරන් ගේ ක්‍ෂණ භඞ්ගය හා නිරොධ සමාපත්තිය “නිරොධො න අරියසච්චං” යන පළමු පදයෙහි ද,

 

නිරොධ සත්‍යයෙන් අන්‍ය වූ සත්‍යත්‍ර‍ය සාක්‍ෂාත් කර්‍තව්‍ය කෘත්‍ය ඇති හෙයින් “න නිරොධො අරියසච්චං” යන දෙවෙනි පදයෙහි ද,

 

නිර්‍වාණය “නිරොධො චෙව අරියසච්චඤ්ච” යන තුන්වන පදයෙහි ද,

 

මාර්‍ග සම්ප්‍ර‍යුක්ත ධර්‍ම හා සතර ඵල ධර්‍මයෝ “නෙව නිරොධොන අරියසච්චං” යන සිවුවන පදයෙහි ද සංග්‍ර‍හ වෙත් මාර්‍ග චතුෂ්කයෙහි:-

 

ආර්‍ය්‍ය මාර්‍ගයෙන් අන්‍ය වූ මිථ්‍යා මාර්‍ගයෝ “මග්ගො න අරිය සච්චං” යන්නෙහි ද,

 

මාර්‍ග සත්‍යයෙන් අන්‍ය වූ සත්‍යත්‍ර‍ය “න මග්ගො අරිය සච්චං” යන්නෙහි ද,

 

ආර්‍ය්‍ය මාර්ගාඞ්ග අට “මග්ගො චෙව අරියසච්චඤ්ච” යන්නෙහි ද,

 

ඵලචිත්තේතාතපාදයෝ “නෙව මග්ගො න අරියසච්චං” යන්නෙහි ද, සංග්‍ර‍හ වෙත්.

 

මෙසේ චතුස්ක වශයෙන් චතුස්සත්‍යයෙහි විනිශ්චය දත යුතුයි.

 

(13) ශුන්‍යතා වශයෙන්:-

 

පරමාර්ථ වශයෙන් සියලු සත්‍යයෝ විඳින්නෙක, කරන්නෙක, නිවන්නෙකෙ, යන්නෙකැ යි මෙසේ සත්ත්‍වයකු නැති හෙයින් සත්ත්‍ව ශුන්‍යතායෙන් ශුන්‍ය හෙයින් විඳීම ය, ක්‍රියාව ය, නිවීම ය, ගමනය යන ක්‍රියා මාත්‍ර‍ය හෙයින් බාහිර පරිකල්පිත වේදකාදීන්ගෙන් ශුන්‍යයහ.

 

හුදෙක් තම තමා අයත් ප්‍ර‍ත්‍යයයෙන් පවත්නා කල්හි ව්‍යවහාර මාත්‍රයෙන් දුක් විඳියයි කිය යි.

 

එහෙයින් කියන ලදී.

 

“දුක්ඛ මෙවහි න කොචි දුක්ඛිතො

කාරකො න කිරියාව විජ්ජති

අත්‍ථිනිබ්බුති න නිබ්බුතො පුමා

මග්ගමත්‍ථි ගමකො න විජ්ජති[594]

 

‘දුක් වේදනාව මැ ඇති, දුක් විඳින්නෙක් නැති, ක්‍රියාවක් ඇති ක්‍රියාව කරන්නෙක් නැති, නිවීමෙක් ඇති, නිවීමට (නිවනට) පැමිණියෙක් නැති, මගෙක් ඇති, මග යන්නෙක් නැති,

 

තවද,

 

“ධුව-සුභ සුබත්තසුඤ්ඤං-පුරිමද්‍වයමත්තසුඤ්ඤමමතපදං

ධුව-සුඛ-අත්ත විරහිතො-මග්ගො ඉනි සුඤ්ඤතා තෙසු”1

 

‘දුක්ඛ සමුදය යන සත්‍ය ද්‍වය නිත්‍ය-ශුභ-සුඛ-ආත්ම යන මොවුන්ගන් ශුන්‍යය නිර්වාණය ආත්මයෙන් ශන්‍යය. මාර්‍ගය නිත්‍ය-සුඛ-ආත්මයෙන්-ශුන්‍යය. මෙසේ දුක්ඛාදීන් ගේ ශුන්‍යත්‍ව දතයුතු.

 

විශේෂ:- ක්ලේශ අශුචි වගුරුවන හෙයින් පූර්‍ව සත්‍ය ද්වයය අශුභය. නිරෝධ-මාර්‍ග සත්‍ය ද්වයය අනාශ්‍ර‍ව හෙයින් ශුභය. දුක්ඛාදි තුන නිරෝධයෛන් ශූන්‍ය ය. නිරෝධය ද සෙසු දුඃඛය, සමුදය, මාර්‍ගය යන තුනින් ශුන්‍යයි.

 

දුක්ඛසත්‍යයට පර්‍ය්‍යාය වශයෙන් සමුදය -මාර්‍ග සත්‍ය භාවය ද, සමුදය සත්‍යයට දුඃඛ මාර්‍ග සත්‍ය භාවය ද මාර්‍ග සත්‍යයට දුඃඛ -සමුදය සත්‍ය භාවය ද සිද්ධය.

 

එහෙත් දුඃඛාදියට නිරෝධ භාවය අසිද්ධ යි.

 

තවද මෙහි පුනර්‍භවය ගෙන දෙන තෘෂ්ණාවට පුනර්‍භවය වූ දුඃඛය යන ව්‍යවහාරය නැති හෙයින් හේතුව වූ සමුදය සත්‍යයෙහි ඵලය වූ දුඃඛ සත්‍යය ද හේතුව වූ මාර්‍ග සත්‍යයෙහි ඵලය වූ නිරෝධ සත්‍යය ද නැති හෙයින් හේතුව ඵලයෙන් ශුන්‍ය යැ.

 

ප්‍ර‍කෘතිවාදී කපිලසෘෂි මතයෙහි ප්‍ර‍කෘති භාවයෙන් සිටි මහත්ත්‍වාදී විකෘතීන් ප්‍ර‍ලය අවස්ථාවෙහි ප්‍ර‍කෘතියෙහි විලීනවැ එක් වැ බැඳී පවත්නා සේ නොව, දුඃඛ - නිරෝධයන් මාර්‍ගයන් ගෙන් ශුන්‍ය හෙයිනි.

 

දුඃඛ-සමුදය දෙදෙනාගේ ද, නිරෝධ-මාර්‍ග දෙදෙනාගේ ද, එක්වැ පැවැත්මක් නැති හෙයින් ඵලය හේතුවෙන් ශුන්‍ය වේ.

 

‘සූත්‍ර‍ සංඛ්‍යාත හේතුන් ගේ සමවායය මැ වස්ත්‍ර‍ සංඛ්‍යාත ඵලය (සමවෙතය) වන්න් ව. ද්වයය එක්වීම ම ද්වි අනුකය වන්නේ ය.’ යන සමවායවාදී මතය සේ නො වේ.

 

(විස්තර ටීකායෙන් දන්නේයි.)

 

එයින් කියන ලදී.

 

“තයමිධ නිරොධ සුඤ්ඤං - තයෙන තෙනාපි නීබ්බුති සුඤ්ඤා

සුඤ්ඤො ඵලෙන හෙතු - ඵලම්පි තං හෙතුනා සුඤ්ඤං”

 

මේ චතුස්සත්‍යයන් අතුරින් දුඃඛ - සමුදය - මාර්‍ග සත්‍යත්‍ර‍ය නිරෝධයෙන් ශුන්‍ය යැ. නිරෝධය, දුඃඛාදි ත්‍ර‍යයෙන් ශුන්‍ය යැ. සමුදය සත්‍යයෙහි දුඃඛ සත්‍යය ද, මාර්ග සත්‍යයෙහි නිරෝධ සත්‍යය ද නැති හෙයින් හෙතුව ඵලයෙන් ශුන්‍ය යැ. එසේමැ දුඃඛයෙහි සමුදය දල නිරෝධයෙහි මාර්‍ගය ද නැති හෙයින් ඵලය හේතුවෙනේ ශුන්‍යය යි.

 

මෙසේ ශුන්‍යතා වශයෙන් විනිශ්චය දතයුතු.

 

(14) ඒකවිධාදි වශයෙන් :-

 

මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන් අතුරින් සියලුම දුක සංසාර ප්‍ර‍වෘත්ති භාවයෙන් ඒකවිධ ය.

 

නාම - රූප වශයෙන් ද්‍විවිධ යැ.

 

කාම - රූප - අරූප භවයන් හි උත්පත්ති භව භේද වශයෙන් ත්‍රිවිධ යැ.

 

ආහාර භේදයෙන් චතුර්විධ යැ.

 

උපාද්‍ර‍නස්කන්‍ධ භේදයෙන් පඤ්චවිධ යි.

 

සමුදය, දුක්ඛය ප්‍ර‍වතීක භාවයෙන් ඒකවිධ යැ.

 

දිට්ඨි සම්ප්‍ර‍යුක්ත - විප්‍ර‍යුක්ත වශයෙන් ද්විවිධ යැ.

 

කාම තණ්හා - භව තණ්හා - විභව තණ්හා වශයෙන් ත්‍රිවිධ යැ.

 

සතර මාර්‍ගයෙන් ප්‍ර‍හාණය කළයුතු හෙයින් මාර්‍ග භේදයෙන් චතුර්විධ යැ.

 

රූපාදි පඤ්චස්කන්‍ධයෙහි අභිනන්‍දන වශයෙන්, (රූපාදි ආලම්බන භේදයෙන්) පඤ්චවිධ යැ.

 

රූප තෘෂ්ණාදි භේදයෙන් ෂඩ් විධයි.

 

නිරෝධය, අසංඛත ධාතු වශයෙන් එක විධ යැ.

 

ව්‍යවහාරයෙන් සඋපාදිසෙස අනුපාදිසෙස වශයෙන් ද්‍විවිධ යැ.

 

විශේෂ:- කාමුපාදානාදි උපාදානයන් විසින් අරමුණු කිරීම් වශයෙන් ගන්නා ලැබේනුයි ස්කන්‍ධ පඤ්චකය උපාදී නම් වේ. ඒ ස්කන්‍ධ පඤ්චකයේ චරිම චිත්තය තෙක් ශේෂවැ පවත්නේ සඋපාදිසෙස නමි. ඉන් මත්තෙහි අනවශේෂ වන හෙයින් අනුපාදිසෙස නමි.

 

කාම - රූප-අරූප භවත්‍ර‍ය සංසිඳුවන හෙයින් ත්‍රිවිධ වේ.

 

සතර මාර්‍ගයෙන් පැමිණිය යුතු හෙයින් චතුර්විධ වේ.

 

රූපාභිනන්‍දනාදි පඤ්චාභිනන්‍දන සංසිඳුවන හෙයින් පඤ්චවිධ වේ.

 

ෂට් තෘෂ්ණාකාය සංසිඳුවන හෙයින් ෂට්විධ වේ.

 

මාර්‍ග සත්‍යය, භාවෙතව්‍ය හෙයින් එකවිධ යැ.

 

ශමථ-විදර්‍ශනා භේදයෙන් ද්විවිධ යැ.

 

විශේෂ:- සම්මාදිඪි - සම්මාසඞ්කප්පයෝ විදර්‍ශනායහ. සෙස්සෝ සමථයහ. (සිලය ද සමතයට උපකාර හෙයින් සමථයෙහිමැ ගැනේ.)

 

දර්‍ශන - භාවනා භේදයෙන් හේ ද්‍විවිධ යැ.

 

සීල - සමාධි - ප්‍ර‍ඥා ස්කන්‍ධත්‍ර‍ය භෙදයෙන් ත්‍රිවිධ යැ.

 

විශේෂ:- මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ශීලස්කන්‍ධාදින් ගේ එක දේශයක් හෙයින් (ස ප්‍රදෙශ හෙයින්) නගරයක් බඳු ය. ඒ නගරයත් නිෂ්ප්‍රදේශ වූ රාජ්‍යයෙන් සංග්‍ර‍හ කරන්නා සේ මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ද, නිෂ්ප්‍රදේශ (සියල්ල සංග්‍ර‍හ) වශයෙන් ශීලාදි ස්කන්‍ධත්‍ර‍යයෙන් සංග්‍ර‍හ කරන ලදී.

 

එයින් වදාළහ.

 

“න ඛො ආවුසො විසාඛ! අරියෙන අඨඞ්ගිකෙන මග්ගෙන ත යො ඛන්‍ධා සඞ්ගහිතා. තිහීච ඛො ආවුසො විසාඛ! ඛන්‍ධෙහි අරියො අඩඞ්ගිකො මග්ගො සංගහීතො. යාචාවුසො විසාඛ! සම්මාවාචා යොච සම්මා කම්මන්තො යොච සම්මා ආජීවො ඉමෙ ධම්මා සීලක්ඛන්‍ධෙ සංගහිතා. යොච සම්මා වායාමො යොච සම්මාසති යොච සම්මා සමාධි ඉමේ ධම්මා සමාධික්ඛණෙධ සංගහිතා. යොච සම්මාදිට්ඪි යොච සම්මා සඞ්කප්පො ඉමෙ ධම්මා පඤ්ඤාක්ඛන්‍ධෙ සංගහීතා[595]

 

ආයුෂ්මත් විසාඛයෙනි! අටගින් යුත් ආර්‍ය්‍ය මාර්‍ගයෙන් මේ ස්කන්‍ධත්‍ර‍යයෙක් සංග්‍ර‍හ නොකරන ලදී. ඒ ස්කන්‍ධත්‍ර‍යයෙන් මේ ආර්‍ය්‍ය අධ්ටාඞ්ගික මාර්‍ගය සංග්‍ර‍හ කරන ලදී. සම්මා වාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව යන මේ ධර්‍මයෝ ශීලස්කන්‍ධයෙන් සංග්‍ර‍හ කරන ලදහ.

 

සම්මා වායාම - සම්මා සති - සම්මා සමාධි යන ධර්‍මයෝ සමාධි ස්කන්‍ධයෙන් සංග්‍ර‍හ කරන ලදහ.

 

සම්මා දිට්ඨි - සම්මා සඞ්කප්ප ධර්‍මයෝ ප්‍ර‍ඥා ස්කන්‍ධයෙන් සංග්‍ර‍හ කරන ලදි.

 

මෙහි සම්මාවාචාදි තුන සමාන ජාති හෙයින් ශීලස්කන්‍ධයෙන් සංග්‍ර‍හ කරන ලදී.

 

විශේෂ:- හුදෙක් මෙහි පෙළෙහි “සිලක්ඛන්‍ධෙ” කියා සප්තමි විභක්තියෙන් දැක්වී. අර්‍ථය තෘතියා කරනයෙන්) දතයුතු.

 

සම්මාවායාමාදි තුන අතුරින් සමාධිය තමා ගේ ස්වභාවයෙන් අරමුණෙහි එකඟ බැව්හි පිහිටන්ට අපොහොසත් වේ. එතෙකුදු වුවත් වීර්‍ය්‍යයෙන් ප්‍ර‍ග්‍ර‍හ කෘත්‍යය සිද්ධකරන කල්හි, ස්මෘතියෙන් ද නුම්ළා කෘත්‍යය සිද්ධකරන කල්හි ලබන ලද ප්‍ර‍ත්‍යය ඇතිවැ එකඟ බැව්හි පිහිටීම සමර්‍ථ වේ.

 

එයට මේ උපමාවෙකි.

 

‘නැකැත් කෙළි කෙළීමට උයනට පිවිසි යහලුවන් තිදෙනෙකු අතුරින් එකකු සුපිපි සපු රුකක් දැක අත ඔසවා මල් කඩා ගැනීමට නොහැකි වන්නේ නම් එකල දෙවැන්නා නැමී ඔහුට පිට දෙන්නේය. පළමුවැන්නා ඔහු පිට නැගී ද කම්පාවනුයේ නො හැකිවේ නම් තෙවැන්නා උරහිස එළවන්නේය. මෙසේ හෙතෙමේ එකකු පිට නැඟී එකකු උරහිස එල්ලී සිට රිසි සේ මල් නෙළා පැළඳගෙන නැකැත් කෙළි කෙළී,

 

මෙහි උපමාන - උපමේය සංසන්‍දනය මෙසේ යි.

 

එක්වැ උයන් ගිය යහලුවන් තිදෙනා මෙන් එක්වැ උපන් සම්මාවායාම - සම්මාසති - සම්මා සමාධි යන තුන් දහමේ දතයුතු.

 

සුපිපි සපු රුක මෙන් විදර්‍ශනා අරමුණු දතයුතු. අත ඔසවා මල් නෙලීමට නො හැකි වූ පුරුෂයා මෙන් තමා ස්වභාවයෙන් අරමුණෙහි එකඟ බැවින් පිහිටිය නුහුණු සම්‍යක් සමාධිය ද පිටදී නැමුණු යහලුවා මෙන් සම්‍යක් ව්‍යායාමය ද, උරහිස එළවූ යහළුවා මෙන් සම්‍යක් ස්මෘතිය ද, දතයුතු. ඒ තිදෙනා අතුරින් එකකු පිට නැඟී එකකු උරහිස එල්බ අනෙකාට මල් නෙලා ගැනීමට හැකි වූවාක් මෙන් වීර්‍ය්‍යයෙන් උත්සාහවත් කිරීම ද, ස්මෘතියෙන් නුමුළාවීම ද, සිද්ධ කල්හි ලැබූ උපකාර ඇති සමාධිය අරමුණෙහි එකඟවැ පිහිටීමට සමර්‍ථ වන හෙයින් සමාධිය තමා ගේ ස්වභාවයෙන් සමාධිස්කන්‍ධයෙන් සංග්‍ර‍හ කරන ලදි. ව්‍යායාම-ස්මෘති දෙදෙන සමාධියට උපකාර වූ සුදුසු ක්‍රියා වශයෙන් සංග්‍ර‍හ කරන ලදහ.

 

සම්මා දිට්ඪි-සම්මාසඞ්කප්ප දෙක අතුරිනුදු සම්මාදිට්ඨිය තමා ස්වභාවයෙන් මැ අනිත්‍ය-දුඃඛ-අනාත්ම යැයි ආලම්බනය නිශ්චය කිරීමට සමර්‍ථ නො වේ. එහෙත් සම්මාසංකප්පය(විතර්‍කය) පැහැර පැහැර දෙන කල්හි අරමුණ නිශ්චය කිරීමට සමර්‍ථ වේ.

 

ඒ මෙසේයි:- රන් කරුවා කහවණුව අත්ලෙහි තබා සර්‍වාකාරයෙන් බලනු කැමති වුවද, ඇසින් මැ පෙරළිය නොහැකි වේ. එහෙත් ඇඟිලි අගින් පෙරළ - පෙරළා ඔබිනොබ බැලිය හැකි වන්නා සේ සම්මාදිට්ඨිය (ප්‍ර‍ඥාව) ස්වශක්තියෙන් අනිත්‍යාදි වශයෙන් අරමුණු නිශ්චය කිරීමට අසමර්‍ථ වේ. අරමුණට හිත නැංවිම ලක්‍ෂණ ඇති අරමුණ පහරන, නැවත නැවත පහරන කෘත්‍ය ඇති විතර්‍කයෙන් අනිච්චං අනිච්චං යි පහරන්නාක් මේන ද “අනිච්චං-ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන” යනාදීන් පරිවර්‍තනය කරන්නාක් මෙන් ද, ගෙන දුන් අරමුණ මැ, නිශ්චය කිරීමට සමර්‍ථ වේ. එහෙයින් මෙහිදු සම්‍යක් දෘෂ්ටියමැ දුක්ඛෙඤාණං’ යනාදියෙහි සමාන වූ ප්‍ර‍ඥා ජාති හෙයින් ප්‍ර‍ඥාස්කන්‍ධයෙන් සංග්‍ර‍හ කරන ලදු.

 

සම්‍යක් සංකල්පය වූ කලී ප්‍ර‍ඥා සදෘශ ක්‍රියා වශයෙන් සංග්‍ර‍හ කරන ලදී.

 

මෙසේ මේ ස්කන්‍ධත්‍රයෙන් ආර්‍ය්‍ය-මාර්‍ගය සංග්‍ර‍හයට යේ එහෙයින් ස්කන්‍ධත්‍ර‍ය භේදයෙන් ත්‍රිවිධ යයි පෙරමැ කී

 

සෝතාපත්ති මග්ග ආදි වශයෙන් චතුර්විධ වේ.

 

තවද සියල් සත්වයෝ අව්තථ-(අවිපරීත) අර්‍ථයෙන් ද, (අභිඤ්ඤෙය්‍ය) විශිෂ්ට ඥානයෙන් දතයුතු අර්ථයෙන් ද එකවිධය හ. (අභිමුඛ කොට ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් දතයුතු බැවින් හෝ විශිෂ්ට ඥානයෙන් දතයුතු බැවින්.)

 

එයමැ ලෞකික-ලෝකෝත්තර භෙදයෙන් ද්විවිධ යැ.

 

විශේෂ:- දුඃඛ-සමුදය දෙක ලෞකික යැ. නිරොධමාර්‍ග දෙක ලෝකෝත්තරයි.

 

අසංඛත-සංඛත භේදයෙන් හෝ ද්විවිධ යැ.

 

නිරෝධය අසංඛත යැ. සෙසු තුන සංඛතයි.

 

දර්‍ශනයෙන් ප්‍ර‍භාතව්‍ය, භාවනාවෙන් ප්‍ර‍භාතව්‍ය, අප්‍ර‍භාතව්‍ය වශයෙන් ත්‍රිවිධ යැ.

පරිඤ්ඤෙය්‍ය-පහාතබ්බ-භාවෙතබ්බ-සච්ඡිකාතබ්බ වශයෙන් චතුර්විධ යැ.

 

චතුරාර්‍ය්‍යසත්‍යයෙහි ඒකවිධාදි වශයෙන් විනිශ්චය මෙසේ දතයුතුයි.

 

(15) සභාග විසභාග වශයෙන්

 

සියලු සත්‍යයෝ අවිතථ භාවයෙන් ද, ආත්ම ශුන්‍ය හෙයින් ද, ප්‍ර‍තිවේධයෙහි දුෂ්කර හෙයින් ද, ඔවුනොවුන් හා සදෘශයෝ යැ. එයින් වදාළහ.

 

“තං කිං මඤ්ඤසි ආනන්‍ද! කතමං නුඛො දුක්කරතරං වා දුරභිසම්භවතරං වා යො වා දූරතොව සුඛුමෙන තාලච්ඡිග්ගලෙන අසනං අතිපාතෙය්‍ය පොඞ්ඛානුපොඞ්ඛං අවිරාධිතං. යොවා සතධා භින්නස්ස වාළස්ස කොටියා කොටිං පටිවිජ්ඣෙය්‍යාති.

 

එතදෙව භන්තෙ දුක්කරතරඤ්චෙව දුරභිසම්භවතරඤ්ච යො අථඛො තෙ ආනන්‍ද දුප්පටිවිජඣතරං පටිවිජඣනති. යෙ ඉදං දුක්ඛන්ති යථාභූතං පටිවිජඣන්ති. -පෙ- අයං දුක්ඛන්ති යථාභූතං පටිවිජඣන්ති” ති[596]

 

ආනන්‍දය! එය කුමකැයි හඟනෙහි ද යම් පුරුෂයෙක් දුරින්මැ කෙසිසිදුරකින් පළමු පළමු විදි හී පගිලියෙන් පසුව පසුව විදි හී තුඩ නො වරදවා ඊතය විදින්නේ ය. යමෙක් හේ සියක් භාග කොට ඉරන ලද අස්ලොමක්හු ගේ එක් භාගයක් ගෙන හීතුඩ බැද එක් භාගයක් බටු පකෙක බැඳ උඩක සිට හී තුඩ බැදි (වාළ) අස්ලොම් කෙළවරනි් බටුපක බැසි අස්ලොම් කෙළවර විදින්නේය. මේ දෙකින් කවරක් දුෂ්කරද සාධලිය නොහේ ද

 

වහන්ස! සියක් වර පළනලද අස්ලොම් කෙළවරකින් අනෙක් අස්ලොම් කෙළවර විදීම අතිශයින් දුෂ්කර යැ. සාධලිය නොහැකි ද වේ. ආනන්‍දය! මේ දුකැයි ද, මේ දුක් ඉපදීමේ හේතුවයැයි ද, මේ දුක් නැති කිරීමැයි ද, මේ දුක් නැති කිරීමේ මගැයැ යි ද යමෙකු තතු සේ අස්ලොම් විදීමට ද වඩා අතිශයින් දුෂ්කර වුවක් කරන්නේ ය.

 

චතුරාර්‍ය්‍යසත්‍යයෝ ස්වලක්‍ෂණ ව්‍යවස්ථා කිරීම් වශයෙන් විසභාගයෝ ය. දුඃඛය, සමුදය යන ප්‍ර‍ථම සත්‍ය ද්වයය ඖදාරික යැ. තිරිසනුන්නටද දුක ද ආහාර තෘෂ්ණාව ද ප්‍ර‍කට යැ. පීඩන ආයුහනාදි වශයෙන් මේ දුක යැ. මේ දුකට හේතුව යයි,

 

යථාස්වභාවයෙන් අවගාහනය (තීරණය) කළ නො හැකි හෙයින් ගැඹුරු බැවිනුදු, ලෞකික බැවිනුදු, සාශ්‍ර‍ව බැවිනුදු සභාග යැ.

 

ඵල-හේතු භේදයෙන්ද, පරිඤ්ඤෙද-පහාතබ්බ බැවින් ද, විසභාග යි.

 

නිරොධ-මාර්‍ග යන පශ්චිම සත්‍යද්වයය ගැඹුරු බැවිනුදු දුකසේ අවබෝධ කළයුතු බැවිනුදු, ආශ්‍ර‍වයනට අරමුණු නො වන බැවිනුදු සභාග යැ. ආලම්බන ආලම්බනික භේදයෙනුදු, සාක්ෂාත් කළයුතු වැඩිය යුතු බැවිනුදු යන භේදයෙන් විසභාගයි.

 

දුඃඛ-නිරොධ ද්වයය ඵලහෙයින් සභාග යැ. සඞ්ඛතඅසංඛත හෙයින් විසභාගය යි.

 

සමුදය-මාර්‍ග දෙක හේතු බැවින් සභාග යැ. එකාන්ත අකුසල්-කුසල් වන හෙයින් විසභාග යි.

 

දුඃඛ-මාර්‍ග දෙක සඞ්ඛත හෙයින් සභාග යැ. ලෞකික ලෝකෝත්තර හෙයින් විසභාග යි.

 

සමුදය-නිරෝධ දෙක නෙවසෙඛ-නාසෙඛ හෙයින් සභාග යැ. අරමුණු ගැනිම්-නොගැනීම් බැවින් විසභාග යි.

 

මෙසේ මේ අයුරින් ද, නානා නයින් ද, නුවණැත්තේ සිව්සස් ධමුන් ගේ සභාග-විසභාග භාවය දන්නේය.

 

 

මෙතෙකින් සුධී ජනයන්ගේ ප්‍ර‍සාද පිණිස කළ සිංහල විශුද්‍ධි මාර්‍ගයෙහි

ඉන්‍ද්‍රිය -සත්‍ය නිර්‍දෙශය නම් වූ සොළොස් වන පරිච්ඡේදය නිමියේ යි.

 


17 වන පරිච්ඡේදය

පඤ්ඤාභූමි නිර්දේශය

(පටිච්ච සමුප්පාදය)

 

සත්‍යනිර්දේශයට අනතුරුවැ “ස්කන්‍ධ- ආයතන ධාතු-ඉන්‍ද්‍රිය - සත්‍ය-ප්‍ර‍තීත්‍යසමුත්පාදාදි භේදගත ධර්‍මයෝ භූමිය[597] යි” මෙසේ කියන ලද මේ විදර්‍ශනා ප්‍ර‍ඥාවට භූමි (පැවැත්මට ස්ථාන) වූ ධර්‍ම අතුරින් පටිච්චසමප්පාදය හා ආදි ශබ්දයෙන් කී පටිච්චසමුප්පන්න ධර්‍ම ද (වර්‍ණනා කිරීමට) අවශිෂ්ට විය එහෙයින් දැන් ඔවුන්ගේ වර්‍ණනා ක්‍ර‍මය පැමිණියේ ය.

 

විශේෂ: පිය-පුත් සම්බන්‍ධය සේ මේ පටිච්චසමුප්පාද-පටිච්චසමුප්පන්න සංඥාවෝ අන්‍යෝන්‍ය අපේක්‍ෂකයෝ යැ.

 

මේ අවිද්‍යාදී හේතු ධර්‍ම පටිච්චසමප්පාදයි දතයුතු. සමුත්පාදමාත්‍ර‍ය නො වේ.

 

එයින් වදාළහ:- “කතමොච භික්ඛවෙ පටිච්චසමුප්පාදො අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම-රූපං, නාම-රූප පච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරා මරණං, සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසා සම්භවන්තී. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයො හොති. අයං වුච්චති භික්ඛවෙ පටිච්චසමුප්පාදොති.[598]

 

‘මහණෙනි! පටිච්චසමුප්පාදය කවරේද, මහණෙනි! අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සඞ්ඛාර (සමුදය) වේ. සඞ්ඛාර ප්‍ර‍ත්‍යයෙන් විඤ්ඤාණ ද, විඤ්ඤාණ ප්‍ර‍ත්‍යයෙන් නාම රූප ද, නාම රූප ප්‍ර‍ත්‍යයෙන් සළායතන ද, සලායතන ප්‍ර‍ත්‍යයෙන් ඵස්ස ද, ඵස්ස ප්‍ර‍ත්‍යයෙන් වේදනාව ද, වේදනා ප්‍ර‍ත්‍යයෙන් තණ්හාව ද, තණ්හා ප්‍ර‍ත්‍යයෙන් උපාදානය ද, උපාදාන ප්‍ර‍ත්‍යයෙන් භවය ද, භව ප්‍ර‍ත්‍යයෙන් ජාතිය ද, ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා - මරණ - සෝක පරිදේව - දුක්ඛ - දොමනස්ස - උපායාස ද සම්භව වේ. මෙසේ මේ හුදු දුඃඛස්කන්‍ධයා ගේ උත්පත්තිය වේ. මහණෙනි! ‘මේ පටිච්චසමුප්පාදයැ’ යි කියනු ලැබේ.

 

ජරා මරණාදි ඵල ධර්‍ම පටිච්චසමුප්පන්නය යි දතයුතු.

 

එයින් වදාළහ:- “කතමෙ ච භික්ඛවෙ පටිච්චසමුප්පන්නා ධම්මා, ජරාමරණං භික්ඛවෙ අනිච්චං සංඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධ ධම්මං, ජාති භික්ඛවෙ -පෙ- -භවො - උපාදානං - තණ්හා - වෙදනා - ඵස්සො - සළායතනං - නාමූපං - විඤ්ඤාණං - සඞ්ඛාරා - අවිජ්ජා භික්ඛවෙ අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ පටිච්චසමුප්පන්නා ධම්මාති[599]

 

‘මහණෙනි! පටිච්චසමුප්පන්න ධර්‍ම කවරේ ද ‘මහණෙනි! පරා - මරණ (ශාස්වත නොවන හෙයින්) අනිත්‍යයැ. (ප්‍ර‍ත්‍යයෙන් එක්ව හටගත් හෙයින්) සඞ්ඛත යැ. (ප්‍ර‍ත්‍යයන්ට සුදුසු ප්‍ර‍ත්‍යයන් නිසාම එක්ව ම උපන් හෙයින්) පටිච්චසමුප්පන්න යැ. ක්‍ෂය වන ස්වභාව ඇත්තේ යැ. ව්‍යය වන ස්වභංව ඇත්තේ යැ, විරිගවන ස්වභාව ඇත්තේ යැ, නිරුද්ධවන ස්වභාව ඇත්තේ යි. (විස්තර මතු පළවේ) මහණෙනි! ජාතිය, භවය, උපාදානය, තණ්හාය, වෙදනා, ඵස්සය, සළායතනය, නාම-රූපය, විඤ්ඤාණය, සඞ්ඛාරය, අවිජ්ජාය යන මොහු අනිත්‍යයහ, සඞ්ඛතයහ. පටිච්චසමුප්පන්නයහ, ඛයධම්මයහ, වයධම්මයහ, විරාගධර්මයහ, නිරොධ ධම්මයහ, මහණෙනි! මොහු පටිච්චසමුප්පන්නධර්‍ම යි කියනු ලැබේ.

 

විශේෂ:- පටිච්චසමුප්පාද ධර්‍ම අනුලෝම් වශයෙන් ද, පටිච්චසමුප්පන්න ධර්‍ම ප්‍ර‍තිලොම වශයෙන් ද, දක්වන ලද්දේ ඒ පටිච්චසමුප්පන්න ධර්‍ම නිපදනා පටිච්චසමුප්පාද ධර්‍මයනට අනතුරු කොට දැක්වීම සඳහා ය. (මේ සූත්‍ර‍පදයන් ගේ සංක්‍ෂේප අර්‍ථයයි.)

 

මෙසේ ප්‍ර‍ත්‍යය ධර්‍ම පටිච්චසමුප්පාදයයි ද, ඒ ඒ ප්‍ර‍ත්‍යයෙන් නිපන් (පත්‍රයොත්පන්න) ධර්‍ම පටිච්චසමුප්පන්නයයි ද, දත යුතු. මෙය කෙසේ දතහැකි ද භාග්‍යවතුන් වහන්සේ ගේ වචනයෙනි.

 

බුදුහු පටිච්චසමුප්පාද-පටිච්චසමුප්පන්න දේශනා සූත්‍රයෙහි ප්‍ර‍ත්‍යය ධම්ම පටිච්චසමුප්පාදය යි වදාළහ. “කතමො ච භික්ඛවෙ පටිච්චසමුප්පාදො ජාති පච්චයා භික්ඛවෙ ජරා මරණං, උප්පාදාව තථාගතානං අනුප්පාදාව තථාගතානං ඨිතාව සාධාතු ධම්මට්ඨිත්තා ධම්මනියාමතා ඉදප්පචචයතා. තං තථාගතෙ අභිසම්බුජ්ඣති, අභිසමෙති. අභිසම්බුජ්ඣිත්‍ව අභිසම්මෙත්‍වා ආචික්ඛති, දෙසෙති, පච්චපෙති, පට්ඨපෙති, විවරති, විභජති, උත්තාතී කරොති, පස්සථාති චාහ. ජාති පච්චයා භික්ඛවෙ ජරාමරණං, භව පච්චයා භික්ඛවෙ ජාති - පෙ අවිජ්ජා පච්චයා භික්ඛවෙ සඞ්ඛාර, ඉති ඛො භික්ඛවෙ යා තත්‍ර‍ තථතා - අවිතථතා - අනඤ්ඤථතා- ඉදප්පච්චයතා. අයං වුච්චති භික්ඛවෙ පටිච්චසමුප්පාදොති[600]

 

‘මහණෙනි! පටිච්චසමුප්පාදය කවරේ ද, මහණෙනි! ජාතිප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ වේ ය’ යන යම් ස්වභාවයෙක් වේ නම් ඒ ප්‍ර‍ත්‍යය ස්වභාවයා ගේ එසේ ම වන බව ද, ‘ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ නො වන්නේ නො වේ’ යන ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්‍මයන්ට ප්‍ර‍ත්‍යය ධර්‍මයන් ගේ හේතු ස්වභාවයක් වේ නම් ඒ ස්වභාවය තථාගතවරයන් ගේ උත්පාදයෙහි ද, අනුත්පාදයෙහි ද සිටීම ය. (පවතීම ය.)

 

ඒ ස්වභාවය තථාගතවරයෝ යථා ස්වභාවයෙන් නුවණින් අවබෝධ කෙරෙති. ඉදිරිපත් කෙරෙති. අවබෝධ කොට, ඉදිරිපත් කොට, උද්දේසායෙන් සඵුට කොට වදාරති. එය ම අවසන් කොට දේශනා කෙරෙති. නිර්‍දෙශයෙන් ඒ අර්‍ථය ම නොයෙක් ආකාරයෙන් හඟවති. එයම ප්‍ර‍තිනිර්‍දෙශ වශයෙන් විවරණය කෙරෙති. (බෙදා දක්වති.) එය ම හේතු - උදාහරණ දැක්වීමෙන් ප්‍ර‍කට කෙරෙති. ‘ප්‍ර‍ත්‍යක්‍ෂ කොල බලවූ’ය යි නිගමනය කෙරෙත්. ‘ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ වේ’ ‘භව ප්‍ර‍ත්‍යයෙන් ජාතිය වේ’. -පෙ- අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සංස්කාර වේ.

 

මහණෙනි! මෙසේ ‘ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ වෙයි’ යන මෙහි යම් සත්‍ය ස්වභාවයක් වේ ද, යම් නොසිස් බවක් වේ ද, යම් අනන්‍ය ස්වභාවයක් වේද, යම් ප්‍ර‍ත්‍යය සමුත්පන්න භාවයෙක් වේ ද මේ ප්‍ර‍තීත්‍ය සමුත්පාදයැ යි කියනු ලැබේ.

 

විස්තර:- ධීතාව සා ධාතු, ‘ජාතිය ජරා-මරණයට ප්‍ර‍ත්‍යය වේය’ යන මේ ස්වභාවය තථාගතවරයන් ගේ ඉපදීමට පූර්‍වයෙහි ද, මතුයෙහි ද අප්‍ර‍කට ව පැවැතී උපදනා කාලයෙහි ප්‍ර‍කට කෙරෙති. තථාගතවරයෝ නූපදවති. වැලි ‘ස්වභාවික වූම ජරා-මරණ හැමකල්හිම ජාතප්‍ර‍ත්‍යයෙන් වේය’ යනු ස්වභාවික සිද්ධමැයි. හුදෙක් ස්වයම්භූඥානයෙන් අවබෝධ කරන හෙයින් (මේ ධර්‍මය තථාගතවරයන් විසින් අධිගත යයි ප්‍ර‍කාශ කරන හෙයින්) තථාගතවරයෝ ධර්‍මස්වාමීහු යැ යි යෙති. (පෙර නො වූවක් උපදවන හෙයින් නො වේ.)

 

ධම්මට්ඨිතතා:- ‘ජාතිප්‍ර‍ත්‍යයෙන් ජරා-මරණ වෙයි. යන මේ ස්වභාවයාගේ විපල්ලාස නැති හෙයින් මෙසේ අවබෝධ කරන ඒ ස්වභාවය හෝ හේතුව එසේ ම වන හෙයින් ධම්මට්ඨිතතා නම් වේ. තවද ජාතිය ජරා-මරණයන් ගේ උථ්පාදය, ස්ථිතිය ප්‍ර‍වෘත්තිය, නිමිත්තය, ආයුහනය, සංයෝගය, පළිබෝධය, සමුදයය, හේතුවය, ප්‍ර‍ත්‍යය ස්ථිතිය යි මෙසේ ඒ උත්පාදාදි ස්වභාවයෙන් පැවැත්ම හෝ ධම්මට්ඨිතතා යැ යි ඵලයෙහි හේතුපචාරයෙන් කීය.

 

තවද අර්‍ථයෙකි; ප්‍ර‍ත්‍යයන් විසින් ධරානු යි ධර්‍ම නම්. එයට අයත් පැවතුම් වසයෙන් ඵලය පිහිටානුයි ‘ඨිති’ නම්. ධර්‍ම සඞ්ඛ්‍යාත හේතුහු ගේ පැවැත්ම ධම්මඨිති නම්. නොහොත් ‘ධම්ම’ නම් කාරණ (ප්‍ර‍ත්‍ය) ය. ඒ ප්‍ර‍ත්‍යයා ගේ පැවැත්ම ඉන් අන්‍ය ස්වභාවයක් නො වීම ධම්මඨිතිය ය, ප්‍ර‍ත්‍යයයි.

 

එයින් වදාළහ:- ‘පච්චය පරිග්ගහො පඤ්ඤා ධම්මඨිති ඤාණං’[601] යි ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කිරීමේ ප්‍ර‍ඥාව ධම්මඨිති ඤාණය’ යි ඒ ධම්මට්ඨිතිය ම ධම්මට්ඨිතතා යි.

 

ධම්මනියාමතා; ‘ජාතිප්‍ර‍ත්‍යයෙන් ජරා-මරණ වෙයි.’ යන මේ ස්වභාවයා ගේ හෝ හේතුහුගේ අන්‍යාථාත්‍වයක් නැති හෙයින් ‘ජාතිය නැතිව ජරා - මරණ නොවේ’ ය යි මෙසේ දක්නා ලැබෙන ‘ප්‍ර‍ත්‍යයා ගේ අභාවයෙහි ඵලයා ගේ අභාවය වේ’ යන නියාමතාව (නියතාභාවය) ධම්මනියාමතා ය.

 

ඵලයා ගේ හේතුව ඇතිකල්හි වීම ධම්මඨිත්තා ය. (ජාතිය ඇතිකල්හි ජරා - මරණ වේ.)

 

හේතුහු ගේ අභාවයෙහි ඵලයාගේ නො පැවැත්ම ධම්මනියාමතා යි. (මෙසේ ඵලයෙන් හේතුව ප්‍ර‍කාශ කෙරේ.)

 

(මේ සන්න-ටීකාවන්හි ආ විස්තරයේ පිණ්ඩාර්ථ යි. මෙසේ “ඨිතාවසාධාතු” යනාදීන් වදාරණ ලද ඉදප්පච්චයතාව තථාගතවරයෝ යථා ස්වභාවයෙන් ප්‍ර‍ත්‍යක්‍ෂ කිරීම් වශයෙන් අවබෝධ කෙරෙති.

 

මෙසේ පටිච්චසමුප්පාදය දේශනා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ තථතාදී ර්‍ප්‍යාය වචනයෙන් ප්‍ර‍ත්‍යය ධර්‍මයම පටිච්චසමුප්පාදය යි වදාළ සේක.

 

එහෙයින් පටිච්චසමුප්පාදය (ප්‍ර‍ත්‍යය) වූ ජාතිය පටිච්චසමුප්පන්න (ඵලය) වූ ජරා මරණයනට ප්‍ර‍ත්‍යවීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. නොහොත් ප්‍ර‍ත්‍යය යැ ලක්‍ෂිතව්‍ය වූයේ හෝයි.

 

ප්‍ර‍වෘත්ති දුක්ඛයට අනුවැ පැවැත්ම එහි කෘත්‍යය යැ. නිර්‍වාණගාමී මාර්‍ගයට විරුද්‍ධ වැ පැවැත්ම වැටහෙන ආකාරය යි.

 

තථතා, මේ පටිච්චසමුප්පාදය ඌනධික නොවූ සුදුසු ප්‍ර‍ත්‍ය ධර්‍මයන් ඇතිකල්හි ම ඵලධර්‍මයන් ගේ හට ගැනීම වන හෙයින් තථතා නම.

 

නිදර්‍ශන:- චක්‍ෂුඃප්‍ර‍සාද - රූපාලම්බන - ආලෝක - මනස්කාර (පඤ්චද්වාරාවජ්ජන) යන් නිස චක්ඛුවිඤ්ඤාණය උපදනාක් මෙනි.

 

අවිතථනා, (සුදුසු ප්‍ර‍ත්‍යයය ධර්‍මයන් ඒකීභාවයට පැමිණි කල්හි මොහොතකදු) ඒ ප්‍ර‍ත්‍යය සමවායෙන් ඉපදීමට යෝග්‍ය ප්‍ර‍ත්‍යයොත්පන්නධර්‍මයන් නො ඉපද නො සිටිනා බව අවිතථතා නම.

 

අනඤ්ඤථතා, (චක්ඛු- රූප -ආලෝක - මනස්කාරයන් ගේ සමවායෙහි සෝතවිඤ්ඤාණ නො උපදනා සේ) අන්‍යඵලධර්‍මයන් ඉපදීමට යෝග්‍ය ප්‍ර‍ත්‍යධර්මයන් ගේ සමවායෙහි අන්‍යඵලධර්‍මයක ගෙ නූපදනා ස්වභාවය අනඤ්ඤථතා නම.

 

යථොක්ත ජරා - මරණාදී ධර්‍මයන්ට ප්‍ර‍ත්‍යය බව හෝ ප්‍ර‍ත්‍යය සමූහ බව හෝ ඉදප්පච්චයතායැ යි කියන ලදී. ඒ මේ පටිච්චසමුප්පාදය යැ.

 

ඉදප්පච්චයතා, යන්නෙහි වචනාර්‍ථ මෙසේ යි:- මේ ජරා මරණාදීන් ගේ ප්‍ර‍ත්‍යයෝ ඉදප්පච්චයෝ යි, ජාත්‍යාදීයයි ඉදප්පච්චයම ඉදප්පච්චයතා යැ. ඉදප්පච්චයන් ගේ සමූහය හෝ ඉදප්පච්චයතා යි.

 

මේ ඉදප්පච්චය ශබ්දය ජාත්‍යාදීන්හි නිරූඪ යැ. හෙත්‍වර්‍ථ හෙයිනි.

 

“ඉමෙසං පච්චයා ඉදප්පච්චයා ඉදප්පච්චයා එව ඉදප්පච්චයතා” “ඉදප්පච්චයානං සමුහො වා ඉදප්පච්චයතා” මේ ප්‍ර‍ථම අර්‍ථ විකල්පයෙහි ස්වර්‍ථයෙහි ද, ද්විතීය අර්‍ථ විකල්පයෙහි සමූහාර්‍තයෙහි ද තා ප්‍ර‍ත්‍යය වී.

 

මෙසේ පටිච්චසමුප්පාදය පිළිබඳව ස්වමතය දක්වා අනතුරු වැ මතාන්තර දක්වති ආචාර්‍ය්‍යපාදයෝ.

 

තීර්‍ථකයන් විසින් පරිකල්පිත[602] ප්‍ර‍කෘති-පුරුෂාදී කාරණ නිරපේක්‍ෂ වූ නිත්‍යාකාරණයෙන් ඵලයා ගේ උත්පාදය විපරිත හෙයින්, ඒ ඒ කාරණයන් නිසා අවිපරීතකොට “අනිත්‍යයා කෙරෙන් අනිත්‍යායා ගේ උත්පාදය පටිච්චසමුප්පාදය යි” මෙසේ උත්පාදමාත්‍ර‍ය පටිච්චසමුප්පාදයයි[603] ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් කියති. ඒ නොයෙදේ.

 

කවර හෙයිනයත්:-

 

(1) උත්පාදමාත්‍ර‍ය පටිච්චසමුප්පාදය යි වදාළ දේශනාවක් නැති හෙයින් ද

(2) සූත්‍ර‍ විරෝධ හෙයින් ද

(3) ගම්භීර නය සම්භව නොවන හෙයින් ද

(4) ශබ්ද භේද හෙයින් ද වේ.

 

(2) “පටිච්චසමුප්පාදං වො භික්ඛවො දෙසිස්සාමි[604] ‘මහණෙනි! තොපට පටිච්චසමුප්පාදය දේශනා කරමි’ යනාදී සූත්‍ර‍යන්හි උත්පාද මාත්‍ර‍ය පටිච්චසමුප්පාදයැ යි ප්‍ර‍කාශ නො වේ.

 

“අථ ඛො භගවා රත්තියා පඨමං යාමං පටිච්චසමුප්පාදං අනුලොම පටිලොමං මනසාකාසී”[605] එකල බුදුහු රාත්‍රි ප්‍ර‍ථම යාමයෙහි පටිච්චසමුප්පාදය අනුලෝම-ප්‍ර‍තිලෝම සේ මෙනෙහි කළහ.’ ප්‍ර‍ථම බෝධියෙහි ප්‍ර‍ත්‍යයාකාරයා ගේ ප්‍ර‍ත්‍යය බව මෙනෙහි කිරීමෙන් යුතුවැ විසූහයි, වදාළ හෙයින් උත්පාද මාත්‍ර‍ය නො වැ ප්‍ර‍ත්‍යය ධර්‍මයන් ගේ ප්‍ර‍ත්‍යය ශක්තිය වූ උපකාරක භාවය මෙනෙහි කිරීම එක් ප්‍රදේශ විහරණයක් යැයි වදාළ සූත්‍ර‍ය හා විරෝධ වේ.

 

ඒ බව “යෙන ස්වාංහං භික්ඛවෙ විහාරෙණ පඨමාභිසම්බුද්ධො විහරාමි තස්ස පදෙසෙන විහාසිං”[606] මහණෙනි! ඒ මම යම් විහරණයකින් යුක්ත වැ විසීම් නම් ඉන් එක් ප්‍රදේශයක් ප්‍ර‍ත්‍යාකාරය මෙනෙහි කිරීමෙන් යුතුවැ, විසීම්, උත්පාද මාත්‍ර‍ය බැලීමෙන් යුතුවැ නො වේ යැයි වදාළ හෙයිනුදු,

 

තවද “සො එවං පජානාමි. මිච්ඡාදිට්ඨි පච්චයා පි වෙදයිතං, සම්මාදිට්ඨිපච්චයාපි වෙදයිතං, මිච්ඡා සංකප්ප පච්චයා පි වෙදයිතං”[607] මිථ්‍යාදෘෂ්ටි ප්‍ර‍ත්‍යයෙනුදු වේදනාව වේ. සෙස්සෙහි ද අර්‍ථ මෙසේ යි.

 

‘මිථ්‍යාදෘෂ්ටිසම්ප්‍ර‍යුක්ත වේදනා ද, මිථ්‍යාදෘෂ්ටි උපනිශ්‍රයෙන් උපදනා කුශලාකුශල වේදනා ද, මිථ්‍යාදෘෂ්ටි කර්‍මයෙන් උපදනා විපාක වේදනා ද, මිථ්‍යාදෘෂ්ටි ප්‍ර‍ත්‍යයෙන් උපදනේ නම්. සම්‍යක් දෘෂ්ටිය ද මෙසේමැ යි.

 

මෙසේ ‘වේදනාවට මිථ්‍යාදෘෂ්ටිය එක් ප්‍ර‍ත්‍යයෙක සම්‍යක්දෘෂ්ටිය ද එක් ප්‍ර‍ත්‍යයෙකැ යි වේදනාවට ප්‍ර‍ත්‍යය සන්මර්‍ශනය කෙරෙමින් සිටියෙමි’ යි වදාළ හෙයින් උත්පාදනමාත්‍ර‍ය පටිච්චසමුප්පාදය යි කියන්නේ ප්‍රදේශ විහාර සූත්‍ර‍ විරෝධ වේ. වේදනාවට ප්‍ර‍ත්‍යය ධර්‍ම මනස්කාර විභාවනය කී හෙයිනි. මින් වේදනාද ප්‍ර‍ත්‍යයොත්පන්න බව් ප්‍ර‍කාශිත යැ. වේදනාව ද පටිච්චසමුප්පාදයෙහි එක දේශයක් හෙයින් එද ප්‍රදේශ විහාරයෙකි.

 

විශේෂ:- අනන්තනය සමන්තපට්ඨානය මෙනෙහි කිරීම ප්‍ර‍ථමාභිසම්බුද්ධ විහරණය යැ. එය සර්‍වප්‍ර‍කාරයෙන් ප්‍ර‍ත්‍යයාකාරය බැලීමයැ යි ඇතමෙක් කියති.

 

එසේම කච්චායන සූත්‍ර‍ විරෝධ වේ. “ලොකසමුදයං ඛො කච්චාන යථාභුතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලොකෙ වත්‍ථිතා සා නහොති” ‘කච්චායන! ලෝකසමුදය (පඤ්චස්කන්‍ධය උපදවන අවිද්‍යාදි ප්‍ර‍ත්‍යය සමූහය) තත්වූ පරිදි විදර්‍ශනාඥානයෙන් දක්නහුට ලෝකයෙහි යම් (උච්ඡෙදදෘෂ්ටියෙන්) අභාවයෙක් වේ නම්, ඒ නාස්තිත්‍වය නො වේ’ යැයි මෙසේ අනුලෝම පටිච්චසමුප්පාදය පඤ්චස්කන්‍ධයට ප්‍ර‍ත්‍යය වන බව් උච්ඡේදදෘෂ්ටිය සිඳීම සඳහා වදාළ හෙයින් උත්පාද මාත්‍ර‍ය පටිච්චසමුප්පාදය නොවේ. උත්පාද මාත්‍ර‍ය දැකීමෙන් උච්ඡේදදෘෂ්ටිය සමුද්ඝාතනය නොවේ. ප්‍ර‍ත්‍යයන් ගේ අවිච්ඡේද ප්‍ර‍වෘත්තිය දැකීමෙන් උච්ඡේදදෘෂ්ටිය සිඳේ.

 

විශේෂ:- අතීත හේතු පඤ්චකය නිසා වර්‍තමාන ඵල පඤ්චකය ද, වර්‍තමාන හේතු පඤ්චකය නිසා අනාගත ඵල පඤ්චකය ද, වේ’ යැයි මෙසේ හේතූන් ගේ නො සිඳ පැවැත්මෙන් ඵලයන් නො සිඳ පැවැත්ම වන හෙයින් උත්පාද මාත්‍ර‍ය පටිච්චසමුප්පාදය යි කීම කච්චායන සූත්‍ර‍ විරෝධ යි.

 

(3) ගම්භිරරොචායං ආනන්‍ද පටිච්චසමුප්පාදො ගම්භීරාවභාසොච” ‘ආනන්‍දය! පටිච්චසමුප්පාදය ගැඹුරු ය. ගැඹුරු වැ වැටහේ” යැයි වදාළ හෙයින් ගැඹුරු බව උත්පාද මාත්‍රයෙහි නැති.

 

(ගැඹුරු බව සිව්වැදෑරුම් වේ. එය පසුව විස්තර වේ.)

 

මේ පටිච්චසමුප්පාදය චතුර්විධ නය ප්‍ර‍තිමණ්ඩිතයැ යි වර්‍ණනිත යැ. එද උත්පාද මාත්‍රයෙහි නැති. මෙසේ ගම්භීර නය නො ලැබෙන හෙයින් උත්පාදමාත්‍ර‍ය පටිච්චසමුප්පාද නොවේ.

 

(4) ශබ්ද භේද හෙයිනි. යන මෙහි ‘පටිච්ච’ ශබ්දය පූර්‍වක්‍රියා වශයෙන් ගෙන ඒක කර්‍තෘකවැ යෙදූ කළ වාක්‍යායාර්‍ථය භගවා (පූර්‍වකාලාර්ථ “පති පුබ්බ ඉ ගතියං” යන ධාතුවෙන් “ත්‍වා” ප්‍ර‍ත්‍යය වැ සිද්ධයි.) “සමුප්පාදො” යන අර්‍ථක්‍රියා කර්‍තෘමැ එයට ද කර්‍තෘ වේ නම් වාක්‍යාර්‍ථවබෝධය වෙයි.

 

“චක්ඛුඤ්ච පටිච්චරූපෙච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං”[608] යි. චක්ඛුප්පසාද-රූපාලම්බන නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. මෙහි ‘පටිච්ච-උප්පජ්ජති’ යන ක්‍රියා දෙකටම චක්ඛුවිඤ්ඤාණං යනු උක්තය වන හෙයින් දොසි. මේ පටිච්චයසමුප්පාදයෙහි වනාහි භාවසාධක වූ උප්පාද ශබ්දය හෝ යොදුනු ලබන පටිච්ච ශබ්දය සමාන කර්‍තෘවක්හු නැති හෙයින් ශබ්දභේදය වේ. එහෙයින් ද උප්පාදමාත්‍ර‍ය පටිච්චසමුප්පාද නොවේ.

 

තවද නාම පදයක් වුව ඒ හා ‘අත්‍ථි’ ‘හොති’ යනාදී ක්‍රියාපදයක් යෙදී අර්‍ථය ප්‍ර‍කාශ වන හෙයින් ‘පටිච්චසමුප්පාදො’ යන්න හා ‘හොති’ යන ක්‍රියා පදය යොදා පටිච්චයසමුප්පාදය වේ යැයි කියම්හ. මෙබඳු චොද්‍යයෙක් වේ නම් හෙද නො යෙදේ. කවරහෙයින් ද, එබඳු යෝගයක් නැති හෙයින් ද, උත්පාදයාගේ ද උත්පාදය වේ යන දෝෂය පැමිනෙන හෙයිනි.

 

ප්‍ර‍තිඥා, පෘච්ඡා, නිගමන වශයෙන් කියනලද එක පදයක් සමඟ ද ‘හොති’ යනු නො යෙදේ. එබඳු සම්බන්‍ධයෙක් නොකී හෙයිනි.

 

ඒ මෙසේයි:- “පටිච්චසමුප්පාදං වො භික්ඛවෙ දෙසිස්සාමි කතමො ච භික්ඛවෙ පටිච්චසමුප්පාදො”[609] යනු පෘච්ඡායි.

 

“අයං වුච්චති භික්ඛවො පටිච්චසමුප්පාදො”2 යනු නිගමනයයි. මේ එක ද සූත්‍ර‍යක් හා “හොති” යනු නො යෙදේ. එසේ යෙදේ නම් ‘උත්පාදයා ගේ ද (නැවත) උත්පාදය වේ’ යන දෝෂය පැමිණේ.

 

තවද මතයෙකි:- “ඉමෙසං පච්චයා ඉදප්පච්චයා” යී ‘මේ සංස්කාරාදීන්ට ප්‍ර‍ත්‍ය වූ අවිද්‍යාදිය ‘ඉදප්පච්චය’ නමි. ඒ ඉදප්පච්ච යන්ගේ භාවය ඉදප්පච්චයතා නම. මෙසේ තා ප්‍ර‍ත්‍යය භාවාර්‍ථයෙහි වේ. ‘යම් ආකාරයකින් අවිද්‍යාදීය සංස්කාරාදීන් ගේ පහළවීමට හේතුවේ නම් එ අවිද්‍යාදීන්ගේ ප්‍ර‍ත්‍යය ආකාර විශේෂයෙහි පටිච්චසමුප්පාද යන නාමය වේ’ යයි කියා යි. එද නොයෙදේ. අවිද්‍යාදීන් ගේ හේතුභාවය කී හෙයිනි.

 

ඒ මෙසේයි:- “තස්මාතිහ ආනන්‍ද! එසොව හෙතු එතං නිදානං එස්සමුදයො ඵසපච්චයො ජරාමරණස්ස යදිසං ජාති -පෙ- සංඛරානං යදිදං අවිජ්ජා” ති[610] ‘ආනන්‍දය! එහෙයින් මේ ජරාමරණයට මේ ජාතිය ම හේතු යැ’ මෙය ම සමුදය යැ, මෙය ම ප්‍ර‍ත්‍යය යැ- සංස්කාරයනට යම් අවිද්‍යාවක් වේ නම් එයම හේතුයැ’යි මෙසේ බුදුනු දු ප්‍ර‍ත්‍යයම හේතු බව වදාළ හෙයින් ඔවුන් ගේ විකාරය ප්‍ර‍ත්‍යය යි නො යෙදේ.

 

කරුණු මෙසේ හෙයින් “පටිච්චසමුප්පාද” නම් ප්‍ර‍ත්‍යය ධර්‍මය යි කී වචනය මනාව කියනලදැයි දතුයුතු.

 

මෙහි “පටිච්චසමුප්පාදො” යන පදයට ව්‍යඤ්ජන ඡායාව බලා ‘උත්පාද මාත්‍ර‍යම පටිච්චසමුප්පාදය’යි කියානම් මේ මතු කියන අර්‍ථය ගෙන ඒ සංසිඳවිය යුතුය.

 

බුදුහු වනාහි:-

(1)   “ද්වෙධා තතො පවත්තෙ - ධම්මසමූහෙ යතො ඉදං වචනං

තප්පච්චයො තතො යං - ඵලොපචාරෙන ඉති වුත්තො”

 

අන්‍වය:- (යතො තතො පවත්තෙ ධම්මසමසූහෙ (පටිච්ච සමූප්පාදොති) ඉදං වචනං ද්වේධා (ඉච්ඡන්ති) තතො අයං තප්පච්චයො ඵලොපවාරෙන (පටිච්චසමුප්පාදො) ඉතිවුත්තො.

 

‘යම්හෙයකින් තමා පිළිබඳ ප්‍ර‍ත්‍යයන් ගේ වශයෙන් පැවැති ප්‍ර‍ත්‍යයොත්පන්නධර්‍ම සමූහයෙහි ලා “පටිච්චසමුප්පාද” යන මේ පදය දෙපරිද්දෙකින් කැමති වෙද්ද එහෙයින් ඵලෝපචාරයෙන් ඒ හෙතු ධර්‍ම සමූහය ඵලොපචාරයෙන් පටිච්චසමුප්පාදයැ යි වදාළහ.

 

තමා පිළිබඳ ප්‍ර‍ත්‍යය සමූහයෙන් නිපදනා ප්‍ර‍ත්‍යය සමූත්පන්න ධර්‍ම සමූහයට පටිච්චසමුප්පාද යන වචනය දෙපරිද්දෙකින් කැමති වෙති.

 

ඒ මෙසේයි:- 1. ඒ ප්‍ර‍ත්‍යය සමූහය (අවිද්‍යාදීන් සංස්කාරාදීහු උපදිති. ප්‍ර‍කෘති පුරුෂාදීන් නූපදිතැ යි තතු සේ දන්නා ලද්දේ ලොවී ලොව්තුරා හිත සුව පිණිස පවත්නා හෙයින් එය) දැන ගැනීමට නුවණැත්තෝ සුදුස්සෝ නුයි පටිච්ච නම් වෙති. ඒ ධර්‍ම සමූහය උපදනේ ද එක්ව උපදනා හෙයින් හා සමග උපදනා හෙයින් ද සමුප්පාද නමි. මෙසේ පටිච්ච වූයේ ම සමුත්පාද වෙනුයි පටිච්චසමුප්පාද නම් වේ.

 

2 ප්‍ර‍ත්‍යය සමවායය නො හැර (සමග) නිසා උපදනා හෙයින් ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍ම සමූහය පටිච්චසමුප්පාද නම් වේ.

 

මේ පටිච්චසමුප්පන්න ධර්‍මයනට මේ අවිද්‍යාදි හේතු සමූහය ප්‍ර‍ත්‍යය වේනුයි ප්‍ර‍ත්‍යය නමි. එ බැවින් මේ පටිච්චසමුප්පාද ධර්‍ම සමූහයෙහි ඵල ව්‍යවහාරයෙන් පටිච්චසමුප්පාද සංඥාව වේයැයි දක්වයි.

 

නිදර්ශන:- සෙමට ප්‍ර‍ත්‍යය වූ ගුළය ලෝකයා සෙම්හ (ගුළ) යයි කියන්නාසේ ද, සැපයට හේතු වූ බුද්ධොත්පාදය සුඛය යි (“සුඛො බුද්ධානං උප්පාදො”) කියන්නා සේ ද දතයුතු.

 

මෙසේ මෙහි සංයන්නෙන් සම්මා යන අර්‍ථය නොව සහ යන අර්‍ථය කියා.

 

තවද:-

(2)  “පටිමුඛමිත්තො වුත්තො- හෙතු සමූහො අයං පටිච්චොති

සහිතො උප්පාදෙතිච- ඉති වුත්තො සො සමුප්පාදො”

 

අන්‍වය:- (අයං හෙතු සමූහො පටිමුඛං+ඉතො’ති පටිච්චො’ති වුත්තො. සො සහිතෙ උප්පාදෙති ච සමුප්පාදො ඉති වුත්තො.)

 

මේ හේතු සමූහය (ඔවුනොවුන්ට) අභිමුඛවැ (ඔවුනොවුන්) යන හෙයින් (පටි+ඉච්ච=) පටිච්ච’ යයි කියන ලදී. ඒ හේතු සමූහය (සිහිතයන්) තමා හා සහභාවයට ගිය ධර්‍මයන් උපදවන හෙයින් සමුප්පාදය (සං+උප්පාදො=) ‘සමුප්පාදො’ යි කියනු ලැබේ.

 

විස්තර:- (i) සංඛාර - විඤ්ඤාණාදි ඒ ඒ ඵලධර්‍මයන් ගේ උත්පත්තිය සඳහා අවිද්‍යාදී එක් එක් හේතුවක් දැක්වුව ද, ඒ අවිද්‍යාදී එක ධර්‍මයක් පමණක් ප්‍ර‍ත්‍යය නො වේ. වැලි සහජාත (එක්ව උපදනා) අනික් චෛතසික ධර්‍ම හා වස්තුආලම්බනාදිය ද, යෝනිසො මනසිකාරය ද, තණ්හා උපාදානාදිය ද, යන මේ හේතු සමූහය තමහට අයත් සාධාරණ ඵල නිපදවන බැවින් ද,

 

(ii) ඉන් එක හේතුවකුදු විකල බවට නො පැමිණීමෙන් සම්පූර්ණ බැවින් ද, එක්වැ පවත්නා ප්‍ර‍ත්‍යය (ධර්‍ම) යන් ගේ අඞ්ගයන් අතුරින් ඔවුනොවුන් ඔවුනොවුන්ට අබිමුඛව යන හෙයින් ද “පටිච්ච” යයි ප්‍ර‍ත්‍යය සමූහය කියනු ලැබේ.

 

විශේෂ:- මෙහි “සාධාරණ ඵල නිපදවන හෙයින්” යන්නෙන් කෘත්‍යය වශයෙන් ඔවුනොවුන් අභිමුඛවැ යන සේ කීහ.

 

විකල බවට නො පැමිණීමෙන්” යනුවෙන් ඔවුනොවුන් අභිමුඛව යන සේ කීහ. මේ හේතු සමූහය ඔවුනොවුන් නොහැර පවත්නා ධර්‍මයන් උපදවන හෙයින් ‘සමුප්පාදයැ’යි කියන ලදී.

 

මෙහි “ඔවුනොවුන් නො හැර පවත්නා” යන්න රූප ධර්‍මයන්ගේ ද, සංග්‍ර‍හය පිණිස යැ. නො එස් වුව සම්ප්‍ර‍යුක්ත ධර්‍මය යි කිය යුතු යැ. මෙසේ පටිච්ච වූයේ ද, සමුප්පාද වූයේ ද, හේමනුයි ‘පටිච්චසමුප්පාද’ නම්. (අභිමුඛයට යනුයේ ද, එක්වැ උපදිනුයේ ද, පටිච්චසමුප්පාදය’යි වදාළහ.)

 

තවද ක්‍ර‍මයෙකි.

 

(3)   ‘පච්චයතා අඤ්ඤො ඤ්ඤං- පටිච්ච යස්මා සමං සහච ධම්මෙ අයමුප්පාදෙති තතොපි- එවමිධ භාසිතා මුනිනා’

 

අන්‍වය:- අයං පච්චයතා අඤ්ඤොඤ්ඤං පටිච්ච සමං සහ ච ධම්මෙ යස්මා උප්පාදෙති තතො පි එවං ඉධ මුනිනා භාසිතා.

 

මේ අවිද්‍යාදී ප්‍ර‍ත්‍යය සමූහය ඔවුනොවුන් නිසා (සහකාරීකාරණභාවයෙන්) සමවැ (විසම නොවැ) සඞ්ඛාරාදී ප්‍ර‍ත්‍ය යොත්පන්න ධර්‍මයන් එක්ව උපදවන හෙයිනුදු (මෙසේත්) ‘පටිච්චසමුප්පාදය’ යි භගවත්හු වදාළහ.

 

විස්තර:- “අවිජ්ජා පච්චයා සංඛාරා” යනාදීන් අවිද්‍යාදී ශීර්‍ෂයෙන් දක්වන ලද ප්‍ර‍ත්‍යයන් අතුරින් යම් යම් ප්‍ර‍ත්‍යයක් සඞ්කාරාදී යම් ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්‍මයන් උපදවා නම් ඔවුනොවුන් නැතිවැ ඔවුනොවුන් ගේ විකල බවක් ඇති කල්හි ඔවුහු ඉපදවමට සමර්‍ථ නො වෙති. එහෙයින් ඔවුනොවුන් නිසා එවකට (ඉදිරිපස නොවී) ප්‍ර‍ත්‍යය ධර්‍ම සමූහය ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්‍ම නිපදවන හෙයින් පරමාර්‍ථ ධර්‍ම ව්‍යවහාරයෙහි සමර්‍ථ බුදුහු පටිච්චසමුප්පාදය යි වදාළහ.

 

(අවිද්‍යාදී ශීර්‍ෂයෙන් කියන ලද ප්‍ර‍ත්‍ය රාශිය තෙමේ සංස්කාරාදි ශීර්‍ෂයෙන් කියන ලද ප්‍ර‍ත්‍යය සමූත්පන්න ධර්‍ම රාශිය උපදවන්නේ එකෙක් ස්පර්‍ශය උපදවයි. එකෙක් චේතනාව උපදවයි. යන මේ ක්‍ර‍මයෙන් බෙදා ඉපදවීමක් නැති බැවින් ඒකේකදේස කොට නො උපදවයි. හැමදෙනාම හැමදෙන උපදවන බැවින් එක්වැ උපදවයි. නොහොත් ස්පර්‍ශය සමහරෙක් උපයයි. චේතනාව සමහරෙක් උපයයි. කලෙක ස්පර්‍ශය උපදවයි. කලෙක චේතනාව උපදවයි යනු නැති බැවින් පළමු පසුව යන පිළිවෙළ විසින් නො උපදවයි. හැමදෙනම සමගම උපයත් යනු සත්‍යයි.)

 

නිගමනය:- මෙහි මුල ගාථාවෙන් පටිච්චසමුප්පාද යන්නෙන් ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍ම සමූහය මුඛ්‍යාර්‍ථ හෙයින් ද, ප්‍ර‍ත්‍යය ධර්‍ම සමූහය ඵලොපචාර හෙයින් ද, පටිච්චසමුප්පාදයැයි කියන ලදි.

 

එයද, ‘පච්චෙචතුමරහන්තී නං පණ්ඩිතාතා පටිච්චො අප්පජ්ජමානො ච සහ සම්මා ච උප්පජ්ජති, න එකෙකතො, නාපි අහෙතුතො’ යි පණ්ඩිතයන් විසින් නුවණින් දැන ගැනීමට සුදුසු හෙයින් පටිච්චයයි ද, උපදනාහු ද එකවට සමවැ උපදනා හෙයින් සමුප්පාද නමැයි ද එක් අර්‍ථයෙකි.

 

“පච්චය සමාග්ගිං පන පටිච්ච අපච්චක්ඛාය සහ උප්පජ්ජතීති සමුප්පාදො” යි ප්‍ර‍ත්‍යයන් ගේ සමූහය අභිමුඛ කොට (බැහැර නො කොට) ඔවුන් හා සහයෝගයෙන් උපදනා හෙයින් ද පටිච්චසමුප්පාද නමැයි දෙවන අර්‍ථයයි.

 

මේ අර්‍ථ දෙකින්ම කියවෙනුයේ ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍ම මැයි. මොවුන් ගේ උත්පාදනයට හේතුවන හෙයින් හේතුධර්‍ම ද ඵලොපචාරයෙන් (අමුඛ්‍යර්‍ථයෙන්) පටිච්චසමුප්පාදයැ යි කියනු ලැබේ.

 

ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍මයනට පෙරටුව සිට තමා හා එකී භාවයට පැමිණි ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්‍මයන් උපදවන හෙයින් හේතුධර්‍ම සමූහය පටිච්චසමුප්පාදය යි මෙසේ කියන ලදී.

 

මෙතෙකින් උත්පාදමාත්‍ර‍ය පටිච්චසමුප්පාදය යන නිකායාන්තරික මත නිරස්තය.

 

මෙසේ වදාළ බුදුහු:-

“පුරිමෙන සස්සතාදීනමභාවො පච්ඡිමෙන තු පදෙන

උච්ඡෙදාදි විඝාතො - ද්‍වයෙන පරිදිපිතො ඤායො”යි

 

මෙහි ‘පටිච්ච’ යන පූර්‍ව පදයෙන් ශාස්වතාදී දෘෂ්ටීන් ගේ අභාවය ද, පසුව කී ‘සමුප්පාද’ යන පදයෙන් උච්ඡෙදදෘෂ්ටි ආදීන් ගේ නැසීම ද, ‘පටිච්චසමුප්පාද’ යන පදද්වයෙන් අන්තද්වය වර්ජිත මධ්‍යම ප්‍ර‍තිපදා සංඛ්‍යාත න්‍යාය ද වදාරණ ලදී.

 

විස්තර :- සෙසු ප්‍ර‍ත්‍යයන් ගේ සමවායය හඟවන්නා වූ ‘පටිච්ච’ යන පූර්‍වපදයෙන් කෙළෙස්වට ආදී පවත්නා ස්වභාව ඇති ධර්‍මයන් ගේ ප්‍ර‍ත්‍යය සමවායය අයත් පැවැතුම් ඇති බැවින් ‘ආත්මය ද, ලෝකය ද, ශාස්වතයයි, පැවැති ශාශ්වතවාදය ද, සත්ත්‍වයන් ගේ කෙලෙසීමට හෝ වොදානයට හෝ කිසි ප්‍ර‍ත්‍යයක් නැතැයි ද, අහේතු අප්‍ර‍ත්‍යය වැ සත්ත්‍වයන් ගේ කෙලෙසීම - වෝදානය වේයයි, ගන්නා අහේතු අප්‍ර‍ත්‍යය වාදය’ ද ප්‍ර‍කෘති - අනු - කාලාදීන් - ලෝකය පවතීය’ යන විසම හෙතු වාදය’ ද, ඊශ්වර නිර්‍මාණාදිය වශයෙන් පවත්නා වශවර්‍තති වාදය ද, අත්තකිලමථානුයෝගයට හේතු වූ මේ ශාස්වතාදී වාදයන් ගේ අභාවය දක්වන ලදී.

 

(එකී වාදයන් අනුවැ ප්‍ර‍ත්‍යය ධර්‍මයන් ගේ ඒ කී භාවයෙන් කවර ඵලයෙක් වේ දැ යි හැඟෙන හෙයිනි.)

 

විශේෂ:- මෙහි අහේතු වාදය ගැනීමෙන් ම ස්වභාවනියති-යදිච්ඡාවාදය ද සංග්‍ර‍හ වේ.

 

චක්‍ෂුඃප්‍ර‍සාදයම චක්‍ෂුර්විඥානයට කාරණ වේයයි ඇතමෙක් කියති. මේ ආදිය විසමහේතු වාදය යි.

 

ඊශ්වර නිර්‍මාණවාදය ද අහේතු වාදයෙහි ම ඇතුළති.

 

“ධර්‍මයෝ ස්වතන්ත්‍ර‍වැ ම පවතිත්” යනු වශවර්‍තතිවාදය යි කියති. (යනු ටීකායි.)

 

ධර්‍මයන් ගේ උත්පත්තිය හඟවන ‘සමුප්පාද’ යන දෙවෙනි පදයෙන් “උච්ඡේදවාදය” ද, දානාදියෙහි විපාක නැත, යන නාස්තිකවාදය ද, ‘කරතුදු පින් පව් නොකෙරෙයි. යන අකිරියවාදය ද ප්‍ර‍හාණය වේ.

 

ඒ එසේමැ යි:- පූර්‍ව පූර්‍ව ප්‍ර‍ත්‍යය වශයෙන් නැවැත නැවැත ධර්‍මයන් උපදනා කල්හි උච්ඡේදයක් කොයින් වේ ද මෙයින් කාමසුඛල්ලිකානුයෝගය ප්‍ර‍හාණය වේ.

 

සියලු ‘පටිච්චසමුප්පාද’ යන වචනය දෙකින් ම ඒ ඒ හේතු ප්‍ර‍ත්‍යයන් ගේ සමවායෙහි (එක්වීමෙහි) හේතු-ඵල සංඛ්‍යාත සමවායය නොසිඳ ඒ ඒ ප්‍ර‍ත්‍යය සමුත්පන්න ධර්‍මයන් උපදනා හෙයින් පෙර කී ශාස්වත- උච්ඡේද දෘෂ්ටි දෙකින් මිදුණු මධ්‍යම ප්‍ර‍තිපදාව කියන ලදී.

 

ඒ මෙසේයි:- කර්‍මවෘත්ත විපාකවෘත්තයන් වෙන් වෙන් ස්වභාව ඇති හෙයින් ‘යමෙක් කර්‍ම කෙරේ නම් හේම විපාක විඳියි. යන ශාස්වත දෘෂ්ටිය හා ‘අකෙක් කර්‍ම කෙරෙහි අනිකෙක් විපාක විඳියි’ යන උච්ඡේද දෘෂ්ටිය සිඳීම ද, ‘කුශලාකුශල ස්කන්‍ධ ප්‍ර‍වෘත්තියෙහි කාරක ව්‍යවහාරය ද, විපාකස්කන්‍ධ ප්‍ර‍වෘත්තියෙහි වෙදක ව්‍යවහාරය ද, වේ (යම් චිත්තසන්තතියෙකැ කර්‍ම නිපන්නේ නම් එම සන්තියෙහිම විපාක නිපදේ.)

 

ප්‍ර‍ත්‍යය සමුත්පන්න ව්‍යවහාර මාත්‍ර‍යම වන හෙයින් ස්ත්‍රි පුරුෂාදි ලෝකව්‍යවහාරය පරමාර්‍ථ වශයෙන් නොගැන්ම ද වේ.

 

ලෝකව්‍යවහාර ඒ වූ පරිදි ගැනීම ද වේ.

 

මේ පළමු කොට පටිච්චසමුප්පාද යන වචනයෙහි අර්‍ථ යි.

 

(ටීකාහි ආ දීර්‍ඝ විස්තර නො දැක්වී.)

 

පටිච්චසමුප්පාදය දේශනා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් “අවිජ්ජා පච්චයා සංඛාරා” යනාදී ක්‍ර‍මයෙන් දේශනා කරන ලද පාළි ධර්‍මයෙහි අර්‍ථ වර්‍ණනය කරන ආචාර්‍ය්‍යවරයා විභජ්ජවාදීමණ්ඩලයට බැස, (විභජ්ජවාදීවැ) අටුවා ඇදුරන් අභිභවා නොකියා, සකසමය වූ ස්ථවිරවංශාගත ලබ්ධිය නොඉක්මවමින්, පරසමය වූ නිකායාන්තරිකයන් ගේ හෝ අන්‍ය ලබ්ධිකයන් ගේ වාදයන් පිඩු නොකරමින්, පාළි ධර්‍මයට අවමන් නොකරමින්, විනයට අනුකූල වෙමින් පෙළහි ආ සතර මහාපදෙස1 හා අටුවාහි ආ සතර මහාපෙදෙස[611] බලමින් පටිච්චසමුප්පාද පාළිධර්‍මය දක්වමින් එහි අටුවාව සංග්‍ර‍හ කෙරෙමින් නොහොත් හේතු හා හේතුඵල සංග්‍ර‍හය කෙරෙමින් ඒ ප්‍ර‍තීත්‍යසමුත්පාද අර්‍ථයම නැවැත නැවැත පෙරළමින් නැවැත අන් ක්‍ර‍මයකින් “පුබ්බන්තෙ අඤ්ඤාණං” යනාදීන් දක්වමින් අර්‍ථ වර්‍ණනා කළයුතුය.

 

(ටීකා පුරාණ සන්නයන්හි මතාන්තර සහිතවැ විස්තර වේ.) ස්වභාවයෙන්ම පටිච්චසමුප්පාදයෙහි අර්‍ථ වර්‍ණනාව දුෂ්කර යැ.

 

එයින් කීහ පැරැණියෝ;

 

“සිව්සස් පිළිසිඳ ද -[612] සත් -[613] පිළිසමුපා[614] යන

මෙ සතර දහම් දුදැසි යැ - දෙසුම ද ඉතා දුකර යැ”

 

එහෙයින් ආගම සංඛ්‍යාත පර්‍ය්‍යාප්තිඥානය හා ප්‍ර‍තිසම්භිදා මාර්‍ඝඥාන ලාභීන් ද හැර සෙස්සන් විසින් ප්‍ර‍තීත්‍යසමුත්පාද අර්‍ථ වර්‍ණනා කිරීම දුෂ්කරයි. එහෙයින්ම නුවණින් තීරණය කොට,

 

“පිළි සමුපා වැනුම - මම අද දෙසනු රිසියෙමි

සමුදුර බට එකකු සේ - පිහිටක් ඉන් නොලබනෙම්”

 

එහෙත් කියන සේ දක්වනුයෝ මේ කියත්.

 

“ඉතිදු මෙ සසුන නන් - දෙසුම් නය විසිතුරු වේ,

පෙරැදුරු වියකන්[615] මගද - නොසිඳ  නිසියේ පවතී.”

 

“ඉන් එදෙමග නිසා - මෙ අරුත් වැනුම අරඹමි,

දහසම් රස කැමැතියෝ - අසව් විපිළිස නොවී.

 

මෙද පෙරැදුරන් විසින් කියනලදී.

 

“යමෙක් අසා නම් මෙ අරුත් පිරික්සා

පෙරත් පසුත් හේ ලබනේ වෙසෙස් තැන්,

ලබා දැනුම් මෙ දම‘රුත්[616] විනිස්නෙන්

මරුත් නොදැක්මෙන් නිවනත් ලබන්නේ”

 

මෙහි ආදියෙහිම පළමුකොට “අවිජ්ජා පච්චයා සඞ්ඛාරා” යනාදියෙහි මතු සඳහන් පරිදි

 

1.  දේශනා භේදයෙන් ද

2.  අර්‍ථ වශයෙන් ද

3.  ලක්‍ෂණාදී වශයෙන් ද

4.  ඒකවිධාදි වශයෙන් ද

5.  අඞ්ග පිරිසිඳීම් වශයෙන් ද

විනිශ්චය දත යුතුයි.

 

දේශනා භේදයෙන් මෙසේ යි:- වැල් අදනා පුරුෂයන් සිවු දෙනකු ගේ වැල් ඇදීම මෙන් බුදුහු ද, පටිච්චසමුප්පාදය සිවු ආකාරයෙකින් වදාරත්.

 

1.  මුල සිට අග තෙක් ද,

2.  මැද සිට අග තෙක් ද,

3.  අග සිට මුල තෙක් ද,

4.  මැද සිටට මුල තෙක් දැයි කියායි.

 

විස්තර:- (1) ඔවුනතුරින් වැලේ මුල පළමු දුටුයේ එහි මුල කපා සියල්ල ඇදගෙන කර්මාන්තයෙහි යොදවයි. එසේ ම බුදුහු කම්ම - විපාක - කිලෙස වට්ටයන්ගේ මූලකාරණය වූ හේ මුලම කී හෙයින් මූලය වූ අවිද්‍යාව පටන් පර්‍ය්‍යාවසානයෙහි වදාළ ජරා මරණ තෙක් දෙසත්.

 

ඒ මෙසේ යි:-

 

“ඉති ඛො භික්ඛවෙ අවිජ්ජා පච්චයා සඞ්ඛාරා - පෙ - ජාති පච්චය ජරා මරණං”[617] යි ‘මහණෙනි! මෙසේ අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සංස්කාර වේ. -පෙ- ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ වේ’ යයි මුල සිට අග තෙක් වදාරති.

 

(2) වැලේ මැද පළමු දුටු පුරුෂයා එය මැදින් සිඳ අග කොටස ගන්නා සේ “තස්ස තං වෙදනං අභිනන්‍දතො අභිවදතො අජ්ඣෙසාය තිථතො උප්පජ්ජති නන්‍දි. යා වෙදනාසු නන්‍දි තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො භව පච්චයා ජාති”[618] ‘ඒ වේදනාව කැමැති වන්නා වූ. මම ය මාගේ යැ යි ගන්නා වූ, බලවත් සේ තෘෂ්ණාවෙන් ගැල සිටින්නා වූ, ඒ පුද්ගලයාහට තෘෂ්ණාව උපදී. වෙදනාවෙහි යම් තෘෂ්ණාවෙක් වේ නම් ඒ දැඩි ආසාව ඒ පුද්ගලයා හට උපාදානය වේ. උපාදාන ප්‍ර‍ත්‍යයෙන් භවය වේ. භව ප්‍ර‍ත්‍යයෙන් ජාතිය වේ. මෙසේ මැද පටන් අවසානය තෙක් දේශනා කෙරෙති.

 

(3) වැලේ අග පළමු දුටුවෙකි ඒ අගින් ගෙන මුල තෙක් ක්‍ර‍මයෙන් ගන්නා සේ බුදුහු ද “ජාතිපච්චයා ජරා මරණං

 

“ඉතිඛො පනෙතං චුත්තං ජාති පච්චයානුඛො භික්ඛවෙ ජරා මරණං නො වා කථවා එත්‍ථ හොතීති. ජාති පච්චයා භන්තෙ ජරා මරණං එවං නො එත්‍ථ හොති ජාතිපච්චයා ජරා මරණන්ති. භව පච්චයා ජාති -පෙ- අවිජ්ජා පච්චයා සඞ්ඛාරරාති ඉති ඛො පනෙතං වුත්තං අවිජ්ජා පච්චයා නුඛො භික්ඛවෙ සඞ්ඛාරා නොවා කථංවා එඑත්‍ථ හොතීති. අවිජ්ජා පච්චයා භන්ත සඞ්ඛාරා එවං නා එත්‍ථ හොති අවිජ්ජා පච්චයා සඞ්ඛාරාති[619] ජාතිප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ වේයැ යි මෙසේ මෙය කියන ලදි. ජාතිප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ වේද නොවේද, මෙහිලා තොපට කෙසේ හෝ වැටහේද, ස්වාමීනි! ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ වේ. ජාතිප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ වේ යයි මෙහිලා අපට මෙසේ වැටහේ. භව ප්‍ර‍ත්‍යයෙන් ජාතිය වේ.  පෙ - අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සංස්කාර වේද, නොවේ ද, මෙහිලා තොපට කෙසේ හෝ වැටහේද, ස්වාමීනි! අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සංස්කාර වේ. අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සංස්කාර වේ යයි මෙහිලා අපට මෙසේ වැටහේ. මෙසේ අග සිට මුල තෙක් පටිච්ච සමුප්පාදය වදාරති.

 

(4) වැලෙහි මැද දුටුයේ එතැන සිට මුල තෙක් ගොස් සිඳගන්නා සේ බුදුහු “ඉමෙ ච භික්ඛවෙ චත්තාරා ආහාරා කිං නිදානා කි සමුදයා කිං ජාතිකා කිං පභවා. ඉමෙච චත්තාරො ආහාර තණ්හා නිදානා තණ්හා සමුදයා තණ්හා ජාතිකා තණ්හා පභවා. තණ්හා කිං නිදානා -පෙ- වෙදනා- ඵස්සො -සළායතනං - නාමරූපං - විඤ්ඤාණං-සංඛාරා කිං නිදානා -පෙ- සංඛාරා අවිජ්ජා නිදානා - අවිජ්ජා පහවා[620]

 

“මහණෙනි! මේ චතුර්විධ ආහාර කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් හේතු කොට ඇත්තේ ද, කුමක් ජාති කොට කුමක් ප්‍ර‍භව කොට ඇත්තේ ද, මේ චතුර්විධ ආහාර තෘෂ්ණා නිදාන කොට ඇත්තේ ය. -පෙ- තෘෂ්ණාව කුමක් ප්‍ර‍භව කොට ඇත්තේ ද -පෙ- වේදනා - ස්පර්‍ශ - ෂඩායතන - නාමරූප - විඥාන-සංස්කාර-අවිද්‍යා ප්‍ර‍භව කොට ඇත්තේයි. මෙසේ මැද සිට මුල තෙක් ද වදාරති. කවර හෙයින් මෙසේ වදාරති යත්!

 

ප්‍ර‍තීත්‍ය සමුත්පාදය සමන්තභද්‍ර‍ක හෙයින් හා තමා ද දේශනා විලාසයට පැමිණි හෙයිනි.

 

ප්‍ර‍තීත්‍ය සමුත්පාදය සමන්තභද්‍ර‍ යැ. පෙරකී ඒ සතර ආකාර දේශනාවන් අතුරින් ඒ ඒ සූත්‍ර‍ දේශනා මාර්‍ග ප්‍ර‍තිවේධය පිණිස නොහොත් ප්‍ර‍තීත්‍ය සමුත්පාදය පිණිස පවතී මැයි.

 

එසේ ම චතුවෛශාරද්‍යයෙන් හා සතර ප්‍ර‍තිසම්භිදා ඥානයෙන් ද යුක්ත වූ හෙයින් ද (1) ධර්‍ම (2) අර්‍ථ (3) ප්‍ර‍තිවෙධ (4) දේශනා යන චතුර්විධ ගම්භීරභාවයට පැමිණීමෙන් දේශනා විලාසයෙන් යුක්ත හෙයින් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ නා නා නයින් ධර්‍මදේශනා කරන සේක.

 

විශේෂ:- ඒ සිවු වැදෑරුම් දේශනා අතුරින් මුල සිට පිළිවෙලින් අගතෙක් පටිච්චසමුප්පාද දේශනය සංස්කාරාදීන් ගේ පැවැත්මට කාරණ වූ අවිද්‍යාදියෙහි නොහොත් සංසාර ප්‍ර‍වෘත්තියට ආකරණ වූ ප්‍ර‍කෘති ආදිය කාරණයයි. වදරවා (මුළාවෙන්) ගත් වෛනය ජනයන් නුවණින් බලන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් තම තමාගේ ඵලානුරූප ප්‍ර‍ත්‍යයෙන් සංස්කාරාදීන් ගේ පැවැත්ම දක්වනු සඳහා ද, උත්පත්තික්‍ර‍ම දක්වනු සඳහා ද වදාරණ ලදැ යි දත යුතුය.

 

අග සිට මුල තෙක් (ප්‍ර‍තිලොම) දේශනාව :- මේ සත්ත්ව ලෝකය ඒකාන්තයෙන් දුකට පැමිණියේ යැ. උපදනේ යැ. දිරන්නේ යැ, මැරෙන්නේ යැ, යනාදීන් දුකට පැමිණි ලෝකයා බලන්නා වූ බොධිසත්ත්‍වයන් සම්බෝධියෙන් පූර්‍වභාගයෙහි ඒ ඒ ජරාමරණාදි ප්‍ර‍ත්‍යය සමුත්පන්න ධර්‍මයන් අවබෝධ කරන විදර්‍ශනා ඥානය අනුගමයෙන් අවබෝධ කළ ජාත්‍යාදී ප්‍ර‍ත්‍යය ධර්‍මයන් ඵලානුසාරයෙන් සංසන්‍දනය කොට දැක්වීම සඳහා පවත්වන ලද්දීයැ යි දතයුතු.

 

මැද සිට මුල තෙක් පැවැති දේශනාව - ආහාරයට නිධානය පිරිසිඳ දැනීම අනුව යෑමෙන් අතීත අධ්වය හිම් කොට ඉදිරියෙහි එළවා නැවැත අතීත අධ්වයෙහි පටන් ගෙන හේතු - ඵල ධර්‍මයන්ගේ පටිපාටිය මනා දැක්වීම සඳහා පැවැත්විණැ යි දත යුතුය.

 

(උපාදානසංඛ්‍යාත තෘෂ්ණාව නිදාන කොටපවත්නා) මනොසඤ්චේතනාභාරය ද, ඒ අනුසාරයෙන් (වර්‍තමාන) විඥාන (ආහාර) ය තෙක් පවත්නා ධර්‍මයෝ ද, වර්‍තමානිකාධ්වය හ. සංස්කාර අවිද්‍යාවෝ අතීත අධ්යවයහ.

 

තවද තෘෂ්ණ නිමිත්තේන උපදනා ජාති සංඛ්‍යාත විඤ්ඤාණය අනාගතනාධ්ව යැ. තෘෂ්ණාදිය වර්‍තමාන අධ්ව යැ. සංස්කාර - අවිද්‍යා දෙක අතීතාධ්ව යැ. පූර්‍ව තෘෂ්ණාවෙන් උපදවන ලද (මනො සඤ්චෙතනා) ආහාරය වර්‍තමානය අධ්ව යැ. තෘෂ්ණාදිය අතීතධ්ව යැ. සංස්කාර - අවිද්‍යා අතීත තාරාධාවයැයි මෙසේ අතීත අධ්වය තෙක් පැමිණවීම වේ.

 

(නැවත ඒ අතීත අධ්වයෙහි පටන් අනාගත අධ්වය තෙක් හේතු-ඵල පටිපාටිය ද සුදුසු පරිදි ආහාරයන්ට නිදානය දැක්වීම ද මෙයින් අභිප්‍රේත යි.)

 

මැද සිට අගතෙක් පැවැති දේශනාව වර්‍තමාන අධ්වය යෙහි අනාගත ධර්‍මයන් හටගැනීමට හේතු වූ ධර්‍මයන් දක්වා හේතු-ඵල පරම්පරාව ප්‍ර‍කාශ කරනු පිණිස යැ.

 

මේ සිවු වැදෑරුම් දේශනාවන් අතුරින් අනුලෝම දේශනාව, පැවැත්වෙහි මූළාවූවන්ට තමා පිළිබඳ ඵලයන්ට අනුරූප හේතු දක්වනු සඳහා ද, වට්ට දුක්ඛය උපදනා පරිදි දැක්වීම සඳහා ද, වදාළහ. මේ විශුද්ධිමාර්‍ගයෙහි ද එය අභිප්‍රේතයි.

 

ප්‍රශ්නයෙකි:- මෙහි අවිද්‍යාව පළමුව වදාළේ කවර හෙයින් ද, කපිලාදී ප්‍ර‍කෘතිවාදීන් ගේ ප්‍ර‍කෘතිය මෙන් අවිද්‍යාව ද අකාරණ ද ලෝකයට මුල කාරණය ද,

 

පිළිතුර:- අකාරණ හෝ මූලකාරණ නො වේ.

 

නිදර්ශන - “ආසව සමුදයා අවිජ්ජා සමුදයො[621] ‘ආශ්‍ර‍ව හේතුවෙන් අවිද්‍යාව හටගනීය’ යි කී හෙයිනි.

 

එහෙත් මෙහි අවිද්‍යාව මූල කාරණ කොට දැක්වීමේ හේතුවක් ඇති.

 

ප්‍ර‍ශ්නය:- ඒ කවරෙක් ද

 

පිළිතුර:- වෘත්ත කථාවට ශීර්‍ෂ (මූලකාරණ) වශයෙන් අවිද්‍යාව වදාළහ.

 

ඒ මෙසේ යි:- වෘත්ත (සංසාර ප්‍ර‍වෘත්ති) කථාව වදාරන බුදුහු ධර්‍ම දෙකක් ශීර්‍ෂ කොට දක්වති.

 

එනම්:- (1) අවිද්‍යාව හෝ ශීර්‍ෂ කෙරෙති.

 

ඒ මෙසේයි:- “පුරිමා භික්ඛවෙ කොටින පඤ්ඤායති අවිජ්ජාය ඉතො පුබ්බෙ අවිජ්ජා නොහොසි අථ පච්ඡා සම්භවිති. එවඤ්චෙතං භික්ඛවෙ වුච්චති. අථ ච පන පඤ්ඤායති ඉදප්පකච්චයා අවිජ්ජාති”[622] මහණෙනි! මින් පෙරැ අවිද්‍යාව නොවී ය. ඉන් පසුව වීය යි අවිද්‍යාවේ පූර්‍ව කෙළවර නො පැනේ ය යි මෙසේ මා විසින් කියනු ලැබේ. එතෙකුදු වුවත් ආශ්‍ර‍ව සමුදයෙන් අවිද්‍යාව වේ යන මේ කාරණය පැනේය යි’ අවිද්‍යාව භව ශීර්‍ෂ වශයෙන් වදාළ සේ යැ.

 

(2) භවතෘෂ්ණාවද ශීර්‍ෂ කෙරෙති.

 

ඒ මෙසේයි:- “පුරිමා භික්ඛවෙ කොටින නඤ්ඤායති, භව තණ්හා ඉතො පුබ්බෙ භව තණ්හා නොහොසි අථ පච්ඡා සම්භවීති. එවඤ්චෙතං භික්ඛවෙ වුච්චති අථ ච පන පඤ්ඤායති. ඉදප්පච්චයා භවතණ්හාති”[623] ‘මහණෙනි! මින් පෙරැ භව තෘෂ්ණාව නො වීය, ඉන්පසු හටගත්තේ යයි භව තෘෂ්ණාවේ පූර්‍ව කෙළවර නො පැනේය යි මා විසින් කියනු ලැබේ. එතෙකුදු වුවත් භව තෘෂ්ණාවට මේ වේදනාව සංඛ්‍යාත මුල කාරණය වේ. වේදනා සමුදයයෙන් තෘෂ්ණා සමුදය වේ යන මේ කාරණය පැනේ යැ යි භවතෘෂ්ණා ව ශීර්‍ෂ වශයෙන් වදාළ සේ යැ.

 

ප්‍ර‍ශ්නයෙකි:- වට්ට කථාව වදාරන බුදුහු මේ ධර්‍ම දෙක මුල්කොට කවරහෙයින් වදාරත් ද,

 

පිළිතුර:- සුගති- දුර්‍ගතිගාමි කර්‍මයනට විශේෂ හේතු බැවිනි. දුර්‍ගතිගාමි කර්මයට විශේෂ හේතුව අවිද්‍යාවයි.

 

ඒ මෙසේ යි:- අවිද්‍යාවෙන් මඩනා ලද පෘථග්ජනයා ගින්නෙන් තැවීමෙන් හා මුගුරින් තැළීමෙන් පීඩාවට පැමිණි මරණයට පමුණුවන ගවදෙන ඒ පීඩාතුර බැවින් ආස්වාදයක් (සැනසීමක්) නැතද තමහට අවැඩ දායක වූ ද; උණුදිය බොන්නා සේ කෙලෙස් ගින්නෙන් තැවීමෙන් ආස්වාදයක් නැත්තේ දුගතියෙත් හෙළීමෙන් තමහට පීඩා එළවන්නා වූ ද, ප්‍රාණඝාතාදි වූ අනේක විධ දුර්‍ගතිගාමි කර්‍මය අරඹයි.

 

සුගතිගාමි කර්‍මයට විශේෂ හේතු භවතෘෂ්ණාවයි.

 

භවතෘෂ්ණාවෙන් පෙළන ලද පුහුදනා යථෝක්ත ගවදෙන තම පීඩාව දුරු කරන ආස්වාද සහිත මිහිරි සිහිල් ජලය ආශාවෙන් බොන්නා සේ කෙලෙස් පීඩා විහරයෙන් ආස්වාදවත් වූ සුගතියට පමුණුවන තමාගේ දුක් පීඩා දුරුකරන, ප්‍රාණඝාතයෙන් වෙන්වීමාදී අනේකාර වූ සුගතිගාමි කර්‍ම කෙරේ දුක්ඛයෙහි අවිද්‍යාවට තෘෂ්ණාව අනුවර්‍තක වේ. සැපයෙහි තෘෂ්ණාවට අවිද්‍යාව අනුවර්‍තක වේ.

 

විශේෂ:- වට්ටකථාවට ශීර්‍ෂ වූ මේ ධර්‍ම අතුරින් බුදුහු එක් ධර්‍මයක් මුල්කොට ද දේශනා කරති.

 

ඒ මෙසේ යි:- “ඉති ඛො භික්ඛවෙ අවිජ්ජුපනිසා සංඛාරා සංඛාරූපනිසං විඤ්ඤාණං”[624] ‘මහණෙනි! මෙසේ අවිද්‍යාව කාරණ කොට සඞ්ඛාර වේ. සඞ්ඛාර කාරණා කොට විඤ්ඤාණ වේ’ යනාදිය යි.

 

“තවද “උපාදානියෙසු භික්ඛවෙ ධම්මෙසු අස්සාදානුපස්සි විහරතො තණ්හා පච්චයා උපාදානං”[625] ‘උපාදානයන්ට අරමුණු වූ ධර්‍මයන්හි ආස්වාද කිරීම් වශයෙන් සැප සොම්නසින් යුතුවැ බලමින් වසන්නහුට තෘෂ්ණාව වැඩේ. ඒ තෘෂ්ණාව හේතුකොට උපාදාන සඞ්ඛ්‍යාත දැඩි තෘෂ්ණාව වේ.’ යනාදියයි.

 

ඇතැම් සූත්‍රයෙකැ උභයමූලකව ද දේශනා කෙරෙති.

 

“අවිජ්ජා නීචරණස්ස හි භික්ඛවෙ බාලස්ස තණ්හාය සම්පයුත්තස්ස එමවයං කායො සමුදාගතො. ඉති අයංචෙව කායො බහිද්ධා ච නාමරූපං ඉත්‍ථෙතං ද්‍වයං, ද්‍වයං පටිච්ච ඵස්සො ඡළෙවායතනානි ච යෙහි ඵුඨො බාලො සුඛ-දුක්ඛං පටිසංවෙදෙතී[626] කි” ‘මහණෙනි! අවිද්‍යාවෙන් මූවහ වූ තෘෂ්ණාවෙන් යුක්ත බාලයාට ඒ අවිද්‍යා තෘෂ්ණා යුක්ත බැවින් මේ කායය උපදනේ වෙයි. මෙසේ මේ කායය ද, වාහ්‍ය ස්කන්‍ද හෝ ෂඛායතනය ද, ඒ නිසා උපදනා ද්වාර-ආලම්බන දෙක ද, ඒ ෂඩායතනයෙන් උපදනා ස්පර්‍ශය ද උපදී. එයින් ම ඒ බාලයා සාප - දුක් වේදනා විඳී.’ යනාදියයි.

 

විශේෂ:- අවිද්‍යාවෙන් වැසුණු හෙයින් ද, තෘෂ්ණාවෙන් යුක්ත වූයේ වෙයි. මෙයින් අවිද්‍යා තෘෂ්ණා නිශ්‍රිත සංස්කාරය ද, කායග්‍ර‍හණයෙන් විඤ්ඤාණ - නාම - රූප-සළායතනයන් ද, වාහ්‍ය වූ ෂඩායතන හෝ අධ්‍යාත්මික වාහ්‍ය ආයතන ද, එයින් ස්පර්‍ශය ද, ස්පර්‍ශයෙන් වේදනාව ද වේ යැයි කීමෙන් ස්පර්‍ශය වේදනාවට විශේෂ ප්‍ර‍ත්‍යය බව දක්වා අවිද්‍යා-තෘෂ්ණා මුල්කොට ඇති වේදනා අවසන් කොට ඇති ප්‍ර‍තීත්‍ය සමුත්පාදය වදාළයහ.

 

මෙහි දැක් වූ ඒ දේශනා අතුරින් “අවිජ්ජාපච්චයා සංඛාරා” යන මේ දේශනාව මෙහි අවිද්‍යාව ගේ වශයෙන් ඒකධර්‍ම මූලකදේශනාව යයි දතයුතු.

 

මෙහි මුල පටන් අග තෙක් ද, අග පටන් මුල තෙක් ද පැවැති දේශනය ද්වාදශාඞ්ගික ය. එහෙයින් තිසන්‍ධිචතුසඞ්ඛේපයැ. මැද පටන් මුල තෙක් පැවැති දේශනය අෂ්ටාඞ්ගික ය, ද්විසන්‍දි තිසඞ්කෙප යැ. මැද පටන් අග තෙක් පැවැති දේශනය ඡළඞ්ගික ය. ද්විසන්‍ධි තිසඞ්කෙප යැ.

 

“සංයොජනියෙසු භික්ඛවෙ ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති තණ්හාපච්චයා උපාදානං”[627] යනාදීන් මධ්‍යයෙහි පටන් අගතෙක් පැවැති දේශනය පඤ්චාඞ්ගි කය එකසන්‍ධි ද්විසඞ්ඛේප යැ. මෙසේ මේ නොයෙක් අඞ්ග වශයෙන් පටිච්චසමුප්පාද දේශනය වේ.

 

“සුඛවෙදනියං භික්ඛවෙ ඵස්සං පටිච්ච උපපජ්ජති සුඛා වෙදනා”[628] යි මෙහි ඒකාඞ්ගිකව ද වේ. (මේ ටීකාහි ආ විස්තරයෙකි.)

 

මේ දේශනා භේදයෙන් විනිශ්චය යි.

 

2. අර්‍ථ වශයෙන් = අවිද්‍යාදී පදයන්ගේ අර්‍ථ වශයෙන්.

 

ඒ මෙසේ යි:- (1) පුරන්නට (රැස්කරන්නට) නොනිසි බැවින් කායදුශ්චරිතාදිය අවින්‍දිය නමි. (නො ලැබ්බ යුතුය යන අර්‍ථ යි) නො විඳිය යුතු එ කාය දුශ්චරිතාදිය විඳිනු අවිද්‍යා නම.

 

(2) වින්ද යුතු කාය සුචරිතාදිය නො විඳිනු යි හෝ අවිද්‍යා නම.

 

(3) ස්කන්‍ධයන්ගේ රාශි බව ය. ආයතනයන්ගේ ආයතන බව ය. ධාතුන් ගේ ධුව - සුඛ - සුභාදී ශුන්‍ය බව ය. ඉන්‍ද්‍රියයන්ගේ අධිපති බව ය. සත්‍යයන් ගේ තථ බව ය, යන අර්ථයන් නො දත දේ නුයි අවිද්‍යා නම (විද-ඤාණෙ යන ධාතු යි.)

 

(4)  දුඃඛාදීන් ගේ පීඩනාදි චතුර්විධ අර්ථයන් නො දත දේ නුයි අවිද්‍යා නම.

 

(5) අන්තයක් නැති සසර සියලු යෝනි - ගති - භව - විඤ්ඤාණ - ඨිති - සත්ත්‍වාසයන්හි සත්ත්‍වයන් දුවවානු යි අවිද්‍යා නම - (ජව ගතියං යන ධාතුයි.)

 

(6) පරමාර්‍ථ වශයෙන් අවිද්‍යමාන වූ ස්ත්‍රී-පුරුෂාදි සම්මුති ධර්‍මයන්හි දුවානු යි හෝ පරමාර්‍ථ වශයෙන් විද්‍යමාන වූ ස්කන්‍ධාදීන්හි නොපවතීනු යි අවිද්‍යා නම. (මේ බ්‍යඤ්ජනාර්‍ථ වශයෙනි.)

 

ස්වභාවාර්‍ථ වශයෙන් මෙසේ යි:-

 

(7) චක්‍ෂුවිඥානාදීන් ගේ චක්‍ෂුඃප්‍ර‍සාදාදි වස්තු හා රූපාදි ආලම්බන අවිද්‍යාදී පටිච්චසමුප්පාද ධර්‍ම හා සඞ්ඛාරාදි පටිච්ච සමුප්පන්න ධර්‍මයන් ගේ ද ඒ ඒ ස්වභාවයන් මුවහ කරන බැවින් ද අවිජ්ජා නම.

 

යම් හේතුවක් නිසා ඵලය වේ නම් ඒ ප්‍ර‍ත්‍යයයි. පටිච්ච යනු නො වෙන් ව නො හැර යන අර්‍ථ යි.

 

‘එති’ යනු උපදී ය යි ද, පවතීත යයි ද යන අර්‍ථයි.

 

තවද උපකාරක භාවය ප්‍ර‍ත්‍යාර්‍ථ නමි. අවිද්‍යා ද, ප්‍ර‍ත්‍යය ද හේමනුයි අවිජ්ජා පච්චය නම. ඒ අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් (යනු අර්‍ථයි.)

 

සඞ්ඛාරා= තමාගේ ඵලයට සුදුසු සේ සකස් කෙරෙත්නු යි සංස්කාරයෝ නම් වෙත්.

 

තවද අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් වූ සංස්කාර ද, සංස්කාර ශබ්දයෙන් ආ සංස්කාරදැ යි සංස්කාර ද්විධ යැ.

 

ඔවුනතුරෙන් පුණ්‍යාභිසංස්කාර - අපුණ්‍යාභිසංස්කාර - ආනෙඤ්ජාභි-සංස්කාර යන තිදෙන ද, කායසංස්කාර, වාක් සංස්කාර - චිත්තසංස්කාර යන තිදෙන දැ යි මේ සය අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් වූ සංස්කාර යි. ඒ සියල්ල ලෞකික කුසල් - අකුසල් චේතනා මාත්‍රයෙක් මැයි.

 

“සංඛාරො සංඛතෙ පුඤ්ඤා භිසඞ්ඛාරාදිකෙපිච

පයොගෙ කාය සංඛාරා‘ද්‍යාභී සඞ්ඛරණෙසුච”යි

 

සංඛතසංඛාරය, අභිසංඛතසංඛාරය, අභිසංඛරණකසංඛාරය, පයොගාභිසංඛාරාය යි. මේ සතර සඛ්ඛාර ශබ්දාගත සඞ්ඛාරයෝ යි.

 

විස්තර:- අනිච්චා වත සංඛාරා[629] සියලු සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ යනාදීන් කියන ලද උත්පාදාදි ලක්‍ෂණ යුක්ත සියලු ධර්‍මයන් තම තමා අයත් ප්‍ර‍ත්‍යයෙන් වන හෙයින් සඞ්තසඞ්ඛාර නම්.

 

කුශලාකුශල කර්‍මයෙන් නිපන් සියලු ත්‍රෛභූමික ධර්‍මයෝ අභිසඞ්ඛතසඞ්ඛාර නමැයි අර්‍ථකථාහි කියන ලදහ. ඔහු ද “අනිච්චාවත සංඛාරා” යනාදීන් කී සංඛාරයෙහි ම ඇතුළති. (වෙනම ඒවා ආ තැනක් පෙළෙහි නො පැනේ.)

 

ත්‍රෛභූමික කුශලාකුශල චේතනාව වනාහි අභිසංඛරණක සංඛාර නමි. එය “අවිජ්ජා ගතොයං භික්ඛවෙ පුරිස පුග්ගලො පුඤ්ඤචෙ සංඛාරං අභිසංඛරොති”[630] අවිද්‍යාවෙන් මුළා වූ මේ පුරුෂ පුද්ගලයා (ඉදින්) පුඤ්ඤාභිසංඛාරා ද රැස්කරයි’ යනාදීන් හි ආ තැන් පැනෙයි.

 

කායික චෛතසික වීර්‍ය්‍යය ප්‍රයොගාභිසංස්කාර නමි.

 

එය “යාවතිකා භික්ඛවෙ අභිසංඛාරස්ස ගති තාවතිකං ගන්ත්‍වා අක්ඛාහතං මඤ්ඤෙ අට්ඨාසි”[631] ඒ කායප්‍රයෝග වේගයාගේ ගමන යම් පමණ ද එපමණක් ගොස් අකුරෙහි පිහිටියාක් මෙන් සිටියේ ය. යනාදීන්හි ප්‍රයොගසංස්කාරය යැ. හුදෙක් මෙ පමණක් ම නොවැ අන්‍ය වූ නොයෙක් සංස්කාරයෝ ද වෙති. “සඤ්ඤාවෙදයිතනිරොධං සමාජ්ජන්තස්ස ඛො ආවුසො විසාඛ! භික්ඛුනො වචීසංඛාරෙ පඨමංනිරුජ්ඣති. තෙතො කායසංඛාරො තතොවිත්තසංඛාරො” ‘සඤ්ඤා - වේදනා දෙදෙනා ගේ  නිරෝධයෙන් නිරෝධසමාපත්තියට සමවදනා භික්‍ෂුවගේ (විතක්ක-විචාර) වචීසංඛාර පළමුවැ නිරුද්ධ වේ. ඉක්බිති කායසංඛාර (ආශ්වාස-ප්‍ර‍ශ්වාස) නිරුද්ධ වේ. ඉක්බිති චිත්තසංඛාර (සඤ්ඤා-වේදනා) නිරුද්ධ වේ. මේ ආදී තන්හි සංඛාර ශබ්දයෙන් ආ සංඛාර අනේකවිධ යැ. ඔවුනතුරින් සංඛත සංඛාරයෙහි ඇතුළත් නොවන සංඛාරයෙක් නැත්තේ යි.

 

විශේෂ:- (වාක්භේදකර) ශබ්දය පිළියෙල කරන හෙයින් විතර්‍ක-විචාරයෝ වචීසංඛාර නම් වෙත්.

 

කරජ කායය විසින් සකස් කරන හෙයින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කායසඞ්කාර යැ. සිත සකස් කරන සංඥා-වේදනා දෙක චිත්තසඞ්ඛාරයි.

 

විතක්ක-විචාර දෙක හැර සෙසු සමපණස් (50) චෛතසිකයෝ චිත්තසඞ්ඛාරයැ.

 

ප්‍ර‍ථමධ්‍යානයෙන් නැගි ද්විතීයද්ධ්‍යානයට සමවදනා කල විතර්‍ක-විචාර නිරුද්ධ වේ.

 

ඉන්මතු චතුර්‍ථධ්‍යානයට සමවදනා කල ආශ්වාස-ප්‍ර‍ශ්වාස නිරුද්ධ වේ.

 

ඉන්මතු නිරෝධයට සමවදනා කල චිත්තසඞ්ඛාර නිරුද්ධ වේ.

 

සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං” සඞ්ඛාර පච්චය ශබ්දයන් පෙර කී සේයි.

 

(මින් මතු යට වර්‍ණනා නො කළ පදම වර්‍ණනා කෙරේ.)

 

විඤ්ඤාණ =    අරමුණු දැනගනීනුයි විඤ්ඤාණ ය

නාම       =    අරමුණු අභිමුඛවැ නැමේනුයි නාමය.

රූප       =    ශීතෝෂාණාදීන් පෙළේනුයි රූපය

ආයතන   =    ආය ධර්මයන් පතුරුවන හෙයින් හෝ ආයතනය

                 සංසාර දුකට පමුණුවන හෙයින් හෝ ආයතනය

ඵස්ස      =    ස්පර්‍ශ කෙරේනුයි ඵස්ස ය.

වේදනා    =    විඳීනුයි වේදනා ය.

තණ්හා         =    අරමුණෙහි ලැගේනුයි හෝ අරමුණු රුස්නේ හෝ

                 තෘෂ්ණා ය.

උපාදාන    =    දැඩිවැ අල්ලා ගනීනුයි උපාදාන ය.

භව       =    විපාක භවය වේනුයි හෝ කර්‍ම භවය - උත්පත්ති

                 භවයන් වඩානුයි හෝ භවය

ජාති       =    ඉපදීම ජාති ය.

ජරා       =    දිරීම ජරා ය.

මරණ           =    මේ චුතිය කරණ කොට ස්කන්‍ධ මියෙත් නුයි මරණය.

සොක           =    ශෝචනය ශෝක ය.

පරිදෙව    =    වැලපීම පරිදේව ය.

දුක්ඛ      =    ශරීරය පෙළානුයි දුඃඛ ය

                 (උත්පාද-ස්ථිති වශයෙන් දෙපරිද්දෙකින් කනීනුයි දුඃඛ

                 ය.)

දොමනස්ස =    දූෂ්‍ය වූ සිත්ඇති බව දෝමනස්ස ය.

උපායාස   =    දැඩි චිත්ත පීඩාව උපායාස ය.

 

මෙසේ මේ අවිද්‍යාදී ප්‍ර‍ත්‍යයෙන් සියලු දුඃඛස්කන්‍ධයා ගේ හටගැනීම වේ.

 

විශේෂ:- “සම්භවන්ති” යන මේ පද හුදෙක් ශෝකාදීන් කෙරෙන් පමණක් නොවැ සියලු සඞ්ඛාරාදී පදයන් කෙරෙනුදු යෙදිය යුතු.

 

නො එසේ වුව ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ = අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සංස්කාරයහ යි කී කළ කුමක් කෙරේදැ යි නො පැනේ. සම්භවන්ති = හටගනිත් යයි කී කල අවිද්‍යාප්‍ර‍ත්‍යයෙන් සංස්කාරයෝ හටගනිත්ය යි ප්‍ර‍ත්‍යය - ප්‍ර‍ත්‍යයසමුත්පන්න ව්‍යවස්ථාව කෙරේ. හැම තන්හිම මේ ක්‍ර‍මය මැයි.

 

මෙසේ අවිද්‍යාදී හේතුවෙන් මේ හුදු දුඃඛ සමුහයාගේ සමුදය වේ. ඊශ්වර නිර්‍මාණාදියෙන් නොවේ.

 

මේ අර්‍ථ වශයෙන් විනිශ්චය යි.

 

3. ලක්‍ෂණාදී වශයෙන් විනිශ්චය

 

අවිද්‍යාව- නො දැනීම ලක්‍ෂණ කොටැ ඇත්තේ ය. සම්ප්‍ර‍යුක්ත ධර්‍ම හෝ තත්සම්ප්‍ර‍යුක්ත පුද්ගලයා මුළා කිරීම එහි කෘත්‍යය යැ. ආලම්බන ස්වභාව මුවා කිරීම වැටහෙන ආකාරය කොට ඇත්තේ යැ. ආශ්‍ර‍ව ආසන්න කාරණ යි. ‘ආසව සමුදයා අවිජ්ජා සමුදයො’[632] යි වදාළ හෙයිනි.

 

සඞ්ඛාර - සකස් කිරීම ලක්‍ෂණ කොට ඇත්තෝ සඞ්ඛාරයෝ යැ. රැස්කිරීම එහි කෘත්‍යය යැ. චේතනාව වැටහෙන ආකාරය යැ. අවිද්‍යාව ආසන්න කාරණ යි.

 

විඤ්ඤාණ - අරමුණු දැනීම විඤ්ඤාණයේ ලක්‍ෂණය යැ. නාම රූපයනට පුරෝගාමී වීම එහි කෘත්‍යය යැ. පූර්‍ව භවය හා ගැළපීම වැටහෙන ආකාර යැ. සඞ්ඛා ආසන්න කාරණය යැ. වස්තු ආලම්බන හෝ ආසන්න කාරණයි.

 

නාම- අරමුණටට නැමෙන ලක්‍ෂණ ඇත්තේ නාමය යැ. සිත හා සමග ද, ඔවුනොවුන් හා සමග ද, සම්ප්‍රයෝග කෘත්‍යය ඇත්තේ යැ. වෙන් වැ නො පැවැත්ම වැටහෙන ආකාරය යැ. විඤ්ඤාණය ආසන්න කාරණයි.

 

රූප- කුප්පනය (කිපීම) ලක්‍ෂණ කොට ඇත්තේ රූපය යැ. ඒ විසිරීම කෘත්‍යය කොට ඇත්තේ යැ. අව්‍යාකෘත භාවය වැටහෙන ආකාරය යැ. විඤ්ඤාණය ආසන්න කාරණ යි.

 

සළායතන - ගැළපීම හෝ පැතිරීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. (ෂඩායතනයට) දර්‍ශනාදීන්ට කරුණු වීම එහි කෘත්‍යය යැ. යථායෝගයෙන් පවිචඤ්ඤාණධාතූන්ට වස්තු- ද්‍වාරභාවයෙන් වැටහෙන්නේ ය. නාම-රූප ආසන්න කාරණයි.

 

ඵස්ස- අරමුණු ස්පර්‍ශ කිරීම ඵස්සයේ ලක්‍ෂණය යැ ආලම්බන හා ගැටීම කෘත්‍යය යැ. වස්තු-ආලම්බන-විඤ්ඤාණ සංගමය වැටහෙන ආකාරය යැ. ෂඩායතන ආසන්න කාරණ යි.

 

වේදනා- ආලම්බන රසානුභවන ලක්‍ෂණය ඇත්තී වේදනාව යැ. රූපාදී විෂය රස අනුභවය කෘත්‍යය යැ. සුව-දුක් වැටහෙන ආකාරය යැ. ස්පර්‍ශය ආසන්නකාරණ යි.

 

තණ්හා- භව දුක්ඛ හේතු භාවය ලක්‍ෂණ කොට ඇත්තී තෘෂ්ණාව යැ. ඒ ඒ ආලම්බන - භූමි - භවාදින්හි ඇලීම කෘත්‍යය යැ. තෘප්තියකට නො පැමිණීම වැටහෙන ආකාරය යැ. වේදනාව ආසන්න කාරණ යි.

 

උපාදාන- අරමුණ දැඩිව ගන්නා ලක්‍ෂණය ඇත්තේ උපාදානය යැ. තෘෂ්ණා-දෘෂ්ටි-අභිනිවේශ වශයෙන් නොහැරීම එහි කෘත්‍යය යැ. කාමූපදානය තෘෂ්ණා-දෘඪභාවයෙන් හා සෙසු උපාදාන දෘෂ්ටි දෘඪභාවයෙන් වැටහෙන ආකාරය ඇත්තේ ය. තෘෂ්ණාව ආසන්නකාරණ කොට ඇත්තේ ය.

 

භව- කර්‍ම කර්‍මඵල ලක්‍ෂණය කොට ඇත්තේ භවය යැ. හට ගැන්වීම හා හටගැනීම එහි කෘත්‍යය යැ. කුශල-අකුශල-අව්‍යාකෘත වැටහෙන ආකාරය යැ. උපාදානය ආසන්න කාරණයි.

 

(ජාති ආදීන්ගේ ලක්‍ෂණාදිය යට සත්‍ය නිර්‍දෙශයේ කී සෙයින් දත යුතුයි.)

 

4. ඒකවිධාදි වශයෙන්

 

(1) අවිද්‍යාව - ආලම්බන ස්වභාවය හෝ ධර්‍ම ස්වභාවය නො දැනීම ය, නො දැකීම ය, එහි මුළාවීම ය යනාදි ස්වභාවය වශයෙන් ඒකවිධ යැ.

 

දුඃඛාදිය නො දැනීම් වශයෙන් හෝ දෘෂ්ටි විප්‍ර‍යුක්ත වශයෙන් හෝ අප්‍ර‍තිපත්තිය අශුභාදියෙහි ශුභාදි වශයෙන් හෝ දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත වශයෙන් හෝ මිථ්‍යාප්‍ර‍තිපත්තිය යන මොවුන් ගේ වශයෙන් විවිධ යැ.

(සන්නයෙහි- අනුශායාවස්ත මෝහ වශයෙන් අප්‍ර‍තිපත්තිය, පර්‍ය්‍යුස්ථාන - දුශ්චරිතාවස්ථ මෝහ වශයෙන් මිථ්‍යා ප්‍ර‍තිපත්තියයි කීහු.) එසේම සසඞ්ඛාර-අසඞ්ඛාර චිත්තසම්ප්‍ර‍යුක්ත වශයෙන් ද්විධයැ.

සෝමනස්ස-දෝමනස්ස-උපේක්ඛා වේදනා යෝගයෙන් ත්‍රිවිධ යැ.

චතුස්සත්‍යයන් ගේ අප්‍ර‍තිවේධයෙන් චතුර්විධ යැ.

ගතිපඤ්චකයෙහි ආදීනව මුවහ කිරීම් වශයෙන් පඤ්චවිධ යැ.

ෂඩ්ද්‍වාරයෙහි හා ෂඩාලම්බනයෙහි පැවතීම් වශයෙන් ෂඩ්විධයි.

විශේෂ මේ ෂඩ්විධත්වය ප්‍ර‍තීත්‍ය සමුත්පාදයේ කියන ලද සියලු අරූප ධර්‍මයන්හි ලා දතයුතු.

 

(2) සඞ්ඛාර - සාසව - විපාකධම්මධම්මාදී බැවින් සංස්කාර ඒකවිධ යැ.

(ආදි ශබ්දයෙන් නෙවසෙඛනාසෙඛ-සංයොජනියාදි භාවයෙන් ද සංග්‍ර‍හ වේ.)

කුසල - අකුසල වශයෙන් ද්විධ යැ. එසේම පරිත්ත-මග්ගගත; හීන-මධ්‍යම; මිච්ඡත්ත-සම්මත්ත; නියත-අනියත වශයෙන් ද ද්විවිධ වේ. පුණ්‍යාභිසංස්කාර - අපුණභාභිසංස්කාර - ආනෙඤ්ජාභි සංස්කාර වශයෙන් ත්‍රිවිධ යැ.

චතුර්යෝනියෙහි ඇතුළත් සත්ත්‍වයන් උපදවන බැවින් චතුර්විධ යැ.

පඤ්චගතියට පමුණුවන හෙයින් පඤ්චවිධයි.

 

(3) විඤ්ඤාණ -ලෞකික විපාකාදි භාවයෙන් ඒකවිධ යැ. (ආදී ශබ්දයෙන් අව්‍යාකෘත, සප්‍ර‍ත්‍යය සංස්කෘතාදි භාවය ද ගැනේ.)

සහේතුක-අහේතුකාදි භාවයෙන් ද්‍විවිධයැ. (ආදි ශබ්දයෙන් සංස්කාර අසංස්කාරාදි භේදය ගැනේ.)

භවත්‍රයෙහි ඇතුළත් වීම් වශයෙන් ද, ත්‍රිවිධ වෙදනා සම්ප්‍රයෝගයෙන් ද, අහේතුක-ද්විහේතුක ත්‍රිහේතුක වශයෙන් ද ත්‍රිවිධ වේ.

චතුර්‍යොනියෙහි පැවතීම් වශයෙන් චතුර්විධ යැ.

පඤ්චගතියෙහි පැවතීම් වශයෙන් පඤ්චවිධයි.

 

(4) නාම-රූප, විඥානයට නිශ්‍ර‍ය බැවින් ද, කර්‍ම ප්‍ර‍ත්‍යය වන බැවින් ද ඒකවිධ යැ.

අරමුණු ගැනීම් නො ගැනීම් වශයෙන් ද්‍විවිධ යැ.

අතීත අනාගත ප්‍ර‍ත්‍යුත්පන්න වශයෙන් ත්‍රිවිධ යැ.

චතුර්‍යොනි වශයෙන් චතුර්විධ යැ.

පඤ්චගති වශයෙන් පඤ්චවිධයි.

 

(5) ෂඩායතන - විඥානයා ගේ හා විඥානසම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් ගේ උත්පත්තිය හා ප්‍ර‍වෘත්තිය ස්ථාන වශයෙන් එකවිධ යැ.

සතර මහා භූත ප්‍ර‍සන්න භාවය, විඥානාදිභාවය වශයෙන් ද්‍විවිධ යැ.

(මෙහි ආදි ශබ්දයෙන් බාහාරායතන ද සංග්‍ර‍හ වේ)

සම්ප්‍රාප්ත අසම්ප්‍රාප්ත උභය විමුක්ත වශයෙන් ත්‍රිවිධ යැ.

යෝනි වශයෙන් චතුර්විධ යැ.

ගති වශයෙන් පඤ්චවිධයි.

ඵස්සාදීන්ගේ ද මේ නයින් ම ඒකවිධාදි භාවයෙන් විනිශ්චය දතයුතු.

 

(6) ඵස්සය-ඵූසන භාවයෙන් හා ලෞකික සාසවාදි භාවයෙන් ඒකවිධ යැ.

පටිඝ සම්ඵස්ස - අධිවචන සම්ඵස්ස භේදයෙන් ද, සහෙතුකාදි භේදයෙන් ද ද්‍විවිධ යැ.

භවත්‍ර‍ය පර්‍ය්‍යාපන්න හෙයින් ද, වේදනාත්‍ර‍ය සම්ප්‍රයෝග හෙයින් ද,

වේදනාත්‍ර‍ය ප්‍ර‍ත්‍ය හෙයින් ද, අහේතුක ද්‍විහේතුක-ත්‍රිහේතුක- හෙයින් ද ත්‍රිවිධ යැ.

යෝනි වශයෙන් චතුර්විධ යැ.

ගති වශයෙන් පඤ්චවිධයි.

 

(7) වේදනාව - අනුභවන ලක්‍ෂණයෙන් ද, ලෞකික හෙයින් ද, සාසවාදී බැවින් ද ඒකවිධ යැ.

පඤ්චද්වාරික-මනොද්වාරික භෙදයෙන් ද්‍විවිධ යැ.

සුඛාදී හේතුවෙන් ත්‍රිවිධ යැ.

චතුර්විධ-පඤ්චවිධ භේද පෙරසේ මැයි.

ෂඩාලම්බන භේදයෙන් ෂඩ්විධයි.

 

(8) තෘෂ්ණාව - ලෝක සමුදය භාවයෙන් ඒකවිධ යැ.

දිට්ඨි සම්ප්‍ර‍යුත්ත - විප්පයුත්ත භෙදයෙන් ද්‍විවිධයැ.

කාම - භව - විභව තෘෂ්ණා වශයෙන් ත්‍රිවිධ යැ.

චතුමාර්‍ග ප්‍රභේද හෙයින් චතුර්විධ යැ.

රූපාභිනන්‍දනාදි භාවයෙන් පඤ්චවිධ යැ.

ෂඩ් තෘෂ්ණා කායයන් ගේ වශයෙන් ෂඩ්විධයි.

 

(9) උපාදාන- දෘඨග්‍රාහ වශයෙන් ඒකවිධ යැ.

තෘෂ්ණා දෘෂ්ටි භේදයෙන් ද්විවිධ යැ.

භවත්‍ර‍යට උපනිශ්‍ර‍ය භාවයෙන් ත්‍රිවිධ යැ.

කාමූපාදානාදි භේදයෙන් චතුර්විධ යැ.

පඤ්චගති සංවර්‍තනයෙන් පඤ්චවිධ වේ.

 

(10)    භවය-ලෞකික සාශ්‍ර‍වාදි භාවයෙන් ඒකවිධ යැ.

කර්‍මභව - උත්පත්තිභව භේදයෙන් ද්විවිධ යැ.

කාම-රූප අරූප භව භේදයෙන් ත්‍රිවිධ යැ.

සතර උපාදානයනට ප්‍ර‍ත්‍යය භෙදයෙන් චතුර්විධ යැ.

පඤ්චගති සංවර්‍තන භේදයෙන් පඤ්චවිධ යැ.

කාම- කර්‍මභවාදි භේදයෙන් ෂඩ්විධ යැ.

සප්ත විඥනස්ථිති සංග්‍ර‍හයෙන් සප්තවිධ යැ.

චතුරුපාදානකර්‍ම ප්‍ර‍ත්‍යය කර්‍ම භවාදී භේදයෙන් අෂ්ටවිධ යැ.

කාම භවාදි භේදයෙන් නවවිධ යි.

 

(11)    ජාතිය ඒ ඒ භවයෙහි ප්‍ර‍ථමාභිනිවෘත්ති බැවින් ඒකවිධයැ.

රූප සංඛාරක්ඛන්‍ධ සංග්‍ර‍හයෙන් ද්විවිධ යැ.

භවත්‍ර‍ය පර්‍ය්‍යාපන්න හෙයින් ත්‍රිවිධ යැ.

යෝනි වශයෙන් චතුර්විධ යැ.

ගති වශයෙන් පඤ්චවිධයි.

 

(12)    මේ නයින්ම ජරාමරණාදීන්ගේ ද ඒකවිධාභාවය දතයුතුය.

 

5.  අඞ්ග ව්‍යවස්ථාන වශයෙන්:-

 

මේ ප්‍ර‍තීත්‍යසමුත්පාදයෙහි “අඞ්ග දොළසකැයි” කී හෙයින් ශෝකාදී වෙන් වැ ගතහොත් අඞ්ගාධිකවන හෙයින් ඒ ශෝකාදී අඞ්ගභාවයෙන් නො කියන ලදී. එහෙත් එය භවචක්‍ර‍යා ගේ අවිච්ඡේද ප්‍ර‍වෘත්තිය සඳහා කියන ලදී.

 

ඒ එසේ මැයි:- ජරා මරණයෙන් පහරන ලද බාලයාට ම ඒ ශෝකාදිය උපදී. “අස්සුතවා භික්ඛවෙ පුථුජ්ජනො කායිකාය දුක්ඛාය වෙදනාය ඵුඪො සමානො සොචති. කිලමති. පරිදෙවති. උරත්තාලිං කන්‍දති. සම්මොහං ආපජ්ජතීති[633]

 

‘මහණෙනි, ආගම අධිගම නොදන්නා පෘථග්ජනයා කායික වූ දුඃඛ වේදනාවෙන් ස්පර්‍ශ වූයේ සොවී, වෙහෙසේ. හඬයි, ළෙහි අත්සපා හඬයි. මුළාවට පැමිණේ. ඔවුන් ගේ යම්තාක් පැවැත්ම වේ නම් ඒ තාක් අවිද්‍යාව වේ. නැවත ද අවිද්‍යාවෙන් සංස්කාර වේය’ යි මෙසේ භවචක්‍ර‍යා ගේ සම්බන්‍ධය වේ. එහෙයින් ඒ ශෝකාදීන් ජරා මරණයන් හා එක්රාශීකොට පටිචච් සමුප්පාද අඞ්ග දොළසෙක්ම ය යි දත යුතු.

 

විශේෂ:- ජරාමරණයෙන් ම ශෝකාදිය ඒකසංක්‍ෂෙප කළ හෙයින් ශෝකාදීන්ට ද ජාති ප්‍ර‍ත්‍යය භාවය යෙදේ. එහෙත් ශෝකාදියට ජරා-මරණ ප්‍ර‍ත්‍යය භාවයෙන් ගැනේ නම් අවිද්‍යාව හා ඒකසංක්‍ෂෙප කටයුතු වේ. ද්වාදශාඞ්ග වීම සඳහා යැ.

 

‘ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ හා ශෝකාදිය ද වේ’ යන මෙහි ජරා මරණ ශෝකාදීන් අතුරෙන් ජරා-මරණ ඓකාන්තික අඞ්ග භාවයෙන් ගන්නා ලදි.

 

එතෙකුදු වුවත් ශෝකාදිය රූපභවාදියෙහි නැත්නුයි. අනෛකාන්තික යැ හුදෙක් ඵල වශයෙන් අවිද්‍යාව ගෙනහැර පෑම පිණිස ගන්නා ලදි. එයින් අනාගතයෙහි ජාතිය ඇති කලක්හි මතුයෙහි ප්‍ර‍තිසන්‍ධියට හේතු වූ අවිද්‍යාව දක්වන ලදනුයි භවචක්‍ර‍යාගේ අවිච්ඡේද ප්‍ර‍වෘත්තිය දැක්විණැයි දතයුතු.

 

තවද මතයෙකි- ජරා මරණ ද ශෝකාදියට ප්‍ර‍ත්‍යය නො වූයේ නම් අඞ්ග දොළස නොපිරෙන හෙයින් ජරා මරණ ද ශෝකාදියට ප්‍ර‍ත්‍යය වේ.

 

එසේ වන්නා “ජරා මරණ පච්චයා සොකාදයො සම්භවන්ති” යි නො වදාරා “ජාති පච්චයා ජරා -මරණං සොකාදියෝ ච සම්භවන්තී[634] යි වදාළේ කවර හෙයින්ද

 

අන්‍ය වූ හේතූන් ගෙන් ශෝකාදිය උපදනාහෙයින් හුදෙක් ජාති ප්‍ර‍ත්‍යය භාවය ම වදාළහ. මේ මෙහි සංක්‍ෂේප කථාව යැ.

 

මේ අඞ්ග ව්‍යවස්ථා වශයෙන් විනිශ්චය යි.

 

මේ විස්තර ක්‍ර‍මය යැ.

 

(1) අවිද්‍යාව, සූත්‍රාන්තික ක්‍ර‍මයෙන් දුඃඛාදි සතර තන්හි නොදැනීම. “කතමා ච භික්ඛවෙ අවිජ්ජා දුක්ඛෙ අඤ්ඤාණං”[635] යනාදීන් එය වදාළයහ.

 

අභිධර්‍ම පර්‍ය්‍යායයෙන් වනාහි දුඃඛාදි සතර තන්හි හා පුබ්බන්තාදි සතර තන්හි දැ යි අට තන්හි නොදැනීම අවිද්‍යා යි වදාළහ. “තත්‍ථ කතමා අවිජ්ජා දුක්ඛෙ අඤ්ඤාණං -පෙ- දුක්ඛනිරෙධ ගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ අඤ්ඤාණං, අපරන්තෙ - පුබ්බන්තාපරන්තෙ- ඉදප්පකච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං”[636] යී සූත්‍රාන්තික ක්‍ර‍මයෙන් සතර තැනෙක කී අවිද්‍යාව කෘත්‍ය වශයෙන් ද, ජාති වශයෙන් ද අට තැනෙක වදාළහ.

 

ඒ පාඨයෙහි නිරෝධ - මාර්‍ග යන ලෝකෝත්තර සත්‍ය ද්වයය තබා දුක්ඛය, සමුදයය, පුබ්බන්තාදිය ය යන සෙසු තන්හි ආලම්බන කිරීම් වශයෙන් ද අවිද්‍යාව උපදී. මෙසේ ඇති තන්හිදු ආලම්බන ස්වභාවය මුවහ කිරීම් වශයෙන් අවිද්‍යාව මෙහි අදහස් කරන ලදී.

 

ඒ එසේ මැ යි:- අසමූහතොත්පන්න වූ ඒ අවිද්‍යාව දුක්ඛ සත්‍යය මුවහ කොට සිටී. දුඃඛයා ගේ පීළනාදිය යථා ස්වභාවර්‍ථය (ප්‍ර‍ත්‍යක්‍ෂසේ) ප්‍ර‍තිවේධ කිරීමට නො දේ.

 

එසේම සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්‍ග සත්‍යය, පූර්‍වාන්ත සංඛ්‍යාත අතීත ස්කන්‍ධ පඤ්චකය, අපරාන්ත සංඛ්‍යාත අනාගත ස්කන්‍ධ පඤ්චාකය, පූර්‍වාන්තාපරාන්ත සංඛ්‍යාත අතීත අනාගත ස්කන්‍ධ පඤ්චකය, නොහොත් පූර්‍වාන්ත අපරාන්තයන් ගේ අන්ත සංඛ්‍යාත වර්‍තමාන ස්කන්‍ධ පඤ්චකය ද ඉදප්පච්චයතා සංඛ්‍යාත ප්‍ර‍ත්‍යය ධර්‍ම හා ප්‍ර‍තීත්‍ය සමුත්පන්න ධර්‍ම ද මුවහ කොට සිටී. (ප්‍ර‍ත්‍යක්‍ෂ කිරීමට නොදේ.)

 

මේ අවිද්‍යාව යැ මේ සංස්කාර යැ යි ප්‍ර‍ත්‍යක්‍ෂ කොට යාථාවසරස ලක්‍ෂණයෙන් (ලක්‍ෂණ- කෘත්‍ය වශයෙන්) ප්‍ර‍තිවේධ කිරීමට නොදේ.

 

(අවිද්‍යාව දුක්ඛාදීන් ආලම්බන කිරීම් වශයෙන් පවතී. යම් සේ නිරෝධ මාර්‍ගයෙන් ආලම්බන කිරීමට අසමර්‍ථ වැ ඔවුන් දක්නා කැමැත්තවුන්ට තත් ප්‍ර‍තිච්ඡාදක වශයෙන් අනිරෝධ මාර්‍ගයෙහි නිරෝධ- මාර්‍ග ග්‍ර‍හණ කරණ වශයෙන් පවත්නී මාර්‍ග නිරෝධයන් යථාවසරස වසයෙන් ප්‍ර‍තිවේධ කරන්නට නොදේද එසේම දුඃඛාදියෙහිදු තත් ස්වභාවච්ඡාදන වශයෙන් පවත්නීය යි ද දත යුතුයි, යනු සත්‍යයි.)

 

(2) සඞ්ඛාරා, පුණ්‍යාභිසංස්කාරාදි තුනය, කායසංස්කාරාදි තුන දැයි මෙසේ පෙර සංක්‍ෂෙපයෙන් කී සය සංස්කාර යැ.

 

විස්තර:- මෙහි පුණ්‍යාභිසංස්කාරය දාන සීල - භාවනාදි දශ පුණ්‍ය ක්‍රියා වස්තු වශයෙන් පැවැති කාමාවචර කුසල චේතනා අටය භාවනා වශයෙන් ම පැවැති රූපාවචර කුසල චේතනා පස දැයි තෙළෙස් (13) චේතනාවෝ යි.

 

ප්‍රාණඝාතාදි දශ අකුශල වස්තු වශයෙන් පැවැති දොළොස් (12) අකුසල් චේතනාවෝ අපුණ්‍යාභිසංස්කාර නමි.

 

ආනෙඤ්ජාභිසංස්කාර නම් එසේම භාවනා වශයෙන්ම පැවැති සතර අරූපාවචර කුසල චේතනාවෝ යි. මේ ත්‍රිවිධ සංස්කාරයෝ එකුන්තිස් (29) චේතනාවෝ යි.

 

විශේෂ:- (පුඤ්ඤාභිසඞ්ඛාර) ස්වසන්තානය අපුණ්‍ය ඵලයෙන් හා දුඃඛ සංකේලශයන්ගෙන් පවිත්‍ර‍ කරන හෙයින් පුණ්‍ය නමි.

 

තවද ඒ පුණ්‍යය කරන්නහු ගේ අද්‍ධ්‍යාශය සම්පූර්ණ කිරීම් අර්‍ථයෙන් හෝ පූජ්‍යත්‍වය නිපදවානු යි හෝ පුණ්‍ය නමි. ඒ පුණ්‍යයම තමා ගේ ඵලය (සතර නාමස්කන්‍ධ හා කර්‍මජ රූප) සකස් කෙරේනුයි පුණ්‍යාභිසංස්කාර යැ.

 

එයට ප්‍ර‍තිපක්‍ෂ වූයේ අපුණ්‍යාභිසංස්කාර නමි.

 

සමාධි ප්‍ර‍තිපක්‍ෂ වූ පඤ්චනීවරණයන්ගෙන් ඉතා දුර බැවින් නො සැලෙන හෙයින් අනිඤ්ජන නම. ඒ අනිඤ්ජන භාවය සකස් කෙරේනුයි ආනෙඤ්ජාභිසංස්කාර නම් වේ.

 

සෙසු කාය සඞ්ඛාරාදි තුනෙහි - කායද්වාරයෙහි පැවැති චේතනාව කායසංස්කාර යැ.

 

වචීසඞ්ඛාර - චිත්තසඞ්ඛාර ද මෙසේ මැ යි.

 

මේත්‍රිකය කර්‍ම රැස් කරන්නා වූ කෙණෙහි පුණ්‍යාභිසංස්කාරාදීන්ගේ ද්වාර වශයෙන් හට ගැනීම දක්වනු සඳහා වදාරන ලදි.

 

විස්තර කාය විඥප්තිය උපදවා කායද්‍වාරයෙහි පැවැති කාමාවචර කුසල චේතනා අට ය, අකුසල චේතනා දොළස දැ යි සම වීසති (20) චේතනාවෝ කායසඞ්ඛාර ය.

 

ඒ චේතනාවෝ ම වාක් විඥප්තිය උපදවා වාක්ද්‍වාරයෙහි පැවැත්තාහු වචීසඞ්ඛාරයි.

 

විශේෂ:- අභිඥා චේතනාව මත්තෙහි විපාක විඥානයට ප්‍ර‍ත්‍යය නො වන හෙයින්- මේ කායසඞ්ඛාර - වචී සඞ්ඛාර විෂයෙහි පුරාණ අටුවාචාරීන් නො ගන්නා ලදී. (එහෙත් ඒ අභිඥා චේතනාව ද කුශල ධර්‍මයට හා විපාක ධර්‍මයට ඇතුළත් වේ.)

 

ඒ වූ කලී නො සිඳින ලද අවිද්‍යා -තෘෂ්ණා ඇති සන්තානයෙහි ව්‍යාපාර සහිත වැ හටගත් හෙයින් අභිඥා චේතනාව ගේ කුසල බව හා විපාක දෙන ස්වභාවය ඇති බව කියන ලදී. විපාක උපදවන බැවින් නොවේ. විපාක උපදවන්නේ නම් රූපාවචර විපාක ම ඉපදවිය යුතු. අන්‍ය භූමියෙකැ කර්‍මයක් අන්‍ය භූමියෙකැ විපාක නො උපදවන හෙයිනි. ධම්මසඞ්ඝණී චිත්තුප්පාද කාණ්ඩයෙහි ‘රූපාවචර විපාකය කර්‍ම සදෘශාලම්බනයම ගන්නේ ය’ යි කියන ලදී. රූපාවචර විපාකය කාමාවචර අරමුණක් නොගන්නේ යි. අභිඥා චේතනාව කාමාවචරාදි අරමුණු ගන්නේම වේ. එසේ හෙයින් විපාක නො දෙන්නේ යි.

 

කසිණායෙහි උපදවන ලද චතුර්‍ථද්‍ධ්‍යාන සමාපත්තියේ ආනිසංසය මේ අභිඥාව යැ.

 

එයින් වදාළහ:- “සො එවං සමාහිතෙ චිත්තෙ[637] යනාදිය මෙසේ සමාධි ඵලය වූ අභිඥා චේතනාව ඵලයක් (විපාකයක්) නො දේ. අභිඥා චේතනාව (විපාක) විඥානයට ප්‍ර‍ත්‍යය නො වන්නා සේ උද්ධච්ච චේතනාවට ද විපාක විඥානයට ප්‍ර‍ත්‍යය නො වේ. එහෙත් අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් වන හෙයින් සම (20) විසි චේතනායැ යි කියන ලදී.

 

කාය විඥප්ති - වාක් - විඥප්ති නූපදවා මනෝද්වාරයෙහි උපන් (29) එකුන්තිස් චේතනාවෝ ම චිත්තසඞ්ඛාර ය.

 

මෙසේ මේ කාය-වචී-චිත්තසඞ්ඛාර යන ත්‍රිකය ද, පුඤ්ඤාභිසඞ්ඛාරාදි ත්‍රිකයෙහි ම ඇතුළත් වේ ය යි අර්‍ථ වශයෙන් ම පුණ්‍යාභිසංස්කාරාදියට අවිද්‍යාව ප්‍ර‍ත්‍යය වන බව දත යුතු.

 

විස්තර:- අෂ්ටකාමාවචර කුශල චේතනා කාය දුශ්චරිතයෙන් වළකින්න හුට කායසඞ්ඛාර වේ. වාක් දුශ්චරිතයෙන් වළකින්නාහුට වචීසඞ්ඛාර වේ. මනොද්වාරයෙහි උපදනා ඒ අට හා රූපාවචර ධ්‍යාන පස දැ යි යන තෙලෙස් (13) චේතනා චිත්තසඞ්ඛාර වේ. මේ සියල්ල පුඤ්ඤාභිසඞ්ඛාර ද, චිත්තසඞ්ඛාර ද වේ.

 

ද්‍වාදස (12) අකුසල චේතනාවෝ කායද්‍වාරයෙහි පැවැත්තාහු කායසඞ්ඛාර යැ. වචීද්වාරයෙහි පැවැත්තාහු වචීසඞ්ඛාර යැ. මනෝද්වාරයෙහි පැවැත්තාහු චිත්තසඞ්ඛාර යි.

 

ආනෙඤ්ජාභිසංඛාර චිත්තසංඛාර මැ යි.

 

මෙසේ ද්‍විතීය ත්‍රිකය පූර්‍ව ත්‍රිකයෙහි ද ඇතුළත් වේ.

 

ප්‍ර‍ශ්නයෙකි:- මේ ධර්‍ම අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් වේ ය යි කෙසේ දත හැකි ද

 

පිළිතුර :- අවිද්‍යාව ඇති කල්හිම සංස්කාර වන හෙයින්

 

ඒ මෙසේ මැයි:- අවිද්‍යාව නැති කල්හි සංස්කාර නොවේ.

 

විස්තර:- යමකු ගේ දුඃඛාදියෙහි (අවිද්‍යා සඞ්ඛ්‍යාත) නො දැනීම පහ නො වූයේ ද, දුක්ඛාදියෙහි ද, පුබ්බන්තාදියෙහි ද අඥාන බැවිනි. සංස්කාර දුඃඛය සුඛ සංඥාවෙන් ගෙන එයට ම හේතු වූ ත්‍රිවිධ වූ ම සංස්කාරයන් උපදව යි.

 

සමුදය නො දැනීමෙන් ද දුක්ඛය හේතු වූ තෘෂ්ණාව පිරිවර කොට ඇති, සුඛ්‍ය, (සුභය යනාදීන්) සකස් කරන ලද සංස්කාරයන් සැප හේතු ය යි හඟනේ උපදව යි.

 

නිරෝධ සත්‍යයෙහි හා මාර්‍ග සත්‍යයෙහි නො දැනීම හේතු කොට දුඃඛ නිරොධය නො වූ ‘බ්‍ර‍හ්ම ලෝකාදි ගති විෂයෙහි දුඃඛ නිරෝධය වන්නේ ය’ යි සංඥායෙන් දුඃඛ නිරෝධයට මාර්‍ග නො වූ අනේක පසු බන්‍ධන හිංසා ඇති වාජපෙය්‍යාදි යාග ද, අමරත්‍වය පිණිස පඤ්චතපනාදි දුෂ්කර ක්‍රියා ද, දුඃඛ නිරෝධයට හේතු යයි ගෙන ත්‍රිවිධ වූ ම සංස්කාර උපදවයි.

 

තවද හේ අර්හන් මාර්‍ග ඥානයෙන් (චතුස්සත්‍යය අවබෝධ කිරීමෙන්) අවිද්‍යාව ප්‍ර‍හීණ නො කළ හෙයින් විශේෂයෙන් ජාති ජරා-රෝග-මරණාදි අනේක ආදී නවයෛනේ මිශ්‍ර‍ වූ කුසල ඵල සඞ්ඛ්‍යාත දුඃඛය දුකයැ යි නා දැන එයට පැමිණීම පිණිස කාය - වාක් - චිත්ත සංස්කාර ප්‍ර‍භේද ඇති පුණ්‍යාභිසංස්කා රැස් කරයි. දිව්‍යාප්සා කැමැත්තෙන් මරු ප්‍ර‍පාතයකට පැනීම මෙනි. (අප්සරාවන් ලැබීමට කාරණ නොවූ පර්‍වතයෙන් හීම කරන්නා සේ සංස්කාර දුඃඛ වූ බැවින් සුවයට කාරණ නො වූ පින් කෙරේ. ජාත්‍යාදීන් ප්‍ර‍පාත දුඃඛ ජනක හෙයින් පුණ්‍යාභිසංස්කාර මරු ප්‍ර‍පාත සදෘශත්‍ව කියන ලදී.)

 

සැපය යි සම්මත ඒ කුසල ලවයාගේ අන්තයෙහි (චුතියෙහි) බලවත් පීඩා උපදවන විපරිණාම දුඃඛ බව ද, ස්වල්ප වූ ආස්වාද බව ද නොදන්නේ පලඟැටියා පහන් සිළුවෙහි ගැටීම මෙන් ද, මී පැණියෙහි ගිජු වූවකු මී වැකුණු කඩු මුවහත ලෙවීම මෙන් ද විපරිනාම දුඃඛ ස්වභාවය කොට ඇති පුණ්‍යාභිසංස්කාරය රැස් කෙරේ.

 

සංසන්‍දනය:- දිව්‍යාප්සරා කැමැත්තෙන් පර්‍වත මුදුනෙන් පැනීම කාමාවචර කුසලයන් හා ද, පලඟැටියා පහන් සිළුවට පැනීම හා මී පැණි වැකුණු කඩු මුවහත ලෙවීම රූපාවචර කුසලයන් හා ද ගළපා අර්‍ථ ගත යුතු.

 

අනිෂ්ට විපාක ඇති පස්කම් සෙවීම් ආදියෙහි ආදීනව නො දැන සැපය යි වරරදවා ගැනීමෙන් හා කෙලෙසුන් ගෙන් මැඩීමෙන් ළදරුවා ගූථ ක්‍රීඩා කරන්නා සේ ද, කිපී විෂ කෑමෙහි ආදීනව නො සලකා මියනු කැමැතිවැ විෂ කන්නාක් මෙන් ද, කාමාතුර බැවින් හා ද්‍විෂාතුර බැවින් පාණාතිපාතාදියෙහි ආදීනව නො සලකා දොළොස් අකුසල සඞ්ඛ්‍යාත අපුණ්‍යාභි සංස්කාර රැස් කෙරේ.

 

සංසන්‍දනය:- ලෝභමූලික අකුසලයට ගූථකීළනය ද, ද්වේෂ මූලික අකුසලයනට විෂ ඛාදනය ද, උපමාන වශයෙන් ගතයුතු.

 

සංස්කාර දුඃඛ- විපරීණාම දුඃඛ ස්වභාවය නිසිසේ අවබෝධ නො කිරීමෙන් සතර අරූපාවචර කුසල සංඛ්‍යාත ආනෙඤ්ජාහි සංස්කාරය ද උපදවයි.

 

මංමුළා වූවකු පිශාච නගරයකට අභිමුඛ මාර්‍ගයෙහි යන්නාක් මෙනි. යක්‍ෂයන් මැවූ පුරයෙහි කාම ගුණ සමෘද්ධියෙන් සුඛය යන විපර්යාසයට හේතුභාවය මෙන් උත්පාද - ව්‍යය අති දීර්‍ඝ සන්තාන බැවින් නොපෙන්න්නා වූ විපරිණාම ඇති සංස්කාර දුඃඛ වූ ආරුප්ප විපාකයා ගේ නිත්‍යාදි විපර්‍ය්‍යාසයට හේතුත්‍වය ඇති හෙයින් ආනෙඤ්ජභිසංස්කාරය පිශාච නගරාභිමුඛ ගමනට සදෘශ කොට යෙදී.

 

මෙසේ අවිද්‍යාව ඇති හෙයින්ම සංස්කාර වීම ද, අවිද්‍යා අභාවයෙහි නො වීම ද වන හෙයින් මේ සංස්කාරයෝ අවිද්‍යාවෙන් වෙති යි දතයුතු.

 

එහෙයින් වදාරන ලදී.

 

අවිද්‍වා භික්ඛවෙ අවිජ්ජාගතො පුඤ්ඤාභිසංඛාරාම්පි අභිසංඛාරොති. අපුඤ්ඤාභිසංඛාරම්පි අභිසංඛරොති ආනෙඤ්ජාභිසංඛරම්පි අභිසංඛරොති. යතො ච ඛො භික්ඛවෙ භික්ඛුනො අවිජ්ජා පහීනා විජ්ජා උප්පන්නා සෝ අවිජ්ජා විරාගා විජ්ජුප්පාදා නොව පුඤ්ඤාභි සංඛාරං අභිසඞ්ඛරොති1 නුවණ නැති අප්‍ර‍හීණ අවිද්‍යාවෙන් යුක්ත වූයේ පුණ්‍යාභිසංස්කාර ද රැස් කෙරේ. -පෙ- යම් හෙයකින් භික්‍ෂූහු ගේ අවිද්‍ය විරාගයෙන් විද්‍යා උත්පාදියෙන් පුණ්‍යාභිසංස්කාර රැස් නොකරයි’ කියායි.

 

වේවා! අවිද්‍යාව සංස්කාරයනට ප්‍ර‍ත්‍යය වන බව් පිළිගනිමු. එහෙත් පුණ්‍යාභිසංස්කාරාදී කවර සංස්කාරයකට අවිද්‍යාව කෙසේ ප්‍ර‍ත්‍යය වේදැයි කිය යුතු යැ.

 

විස්තර:- පුණ්‍යාභිසංස්කාරාදි නොයෙක් සංස්කාර වෙති. අවිද්‍යාව එකෙක්ම ය. එහෙත් සියලු සංස්කාරයනට අවිද්‍යාව එක ආකාරයකින්ම ප්‍ර‍ත්‍යය නො වේ. එහෙයින් මේ සංස්කාරයනට මෙසේ ප්‍ර‍ත්‍යය වේයයි කිවමනායි. ඒ සඳහා මේ සියලු ප්‍ර‍ත්‍යයන් පිළිබඳ ප්‍ර‍ත්‍යය ස්වභාවය මෙහිලා දැක්වේ.

 

භගවත් බුදුහු වනාහි

 

1.  හෙතු පච්චය            13. කම්ම පච්චය

2.  ආරම්මණ පච්චය             14. විපාක පච්චය

3.  අධිපති පච්චය                15. ආහාර පච්චය

4.  අනන්තර පච්චය              16. ඉන්‍ද්‍රිය පච්චය

5.  සමනන්තර පච්චය      17. ඣාන පච්චය

6.  සහජාත පච්චය               18. මග්ග පච්චය

7.  අඤ්ඤමඤ්ඤ පච්චය         19. සම්පයුත්ත පච්චය

8.  නිස්සය පච්චය                20. විප්පයුත්ත පච්චය

9.  උපනිස්සය පච්චය       21. අත්‍ථි පච්චය

10.     පුරෙජාත පච්චය           22. නත්‍ථි පච්චය

11.     පච්ඡා ජාත පච්චය         23. විගත පච්චය

12.     ආසෙවන පච්චය                 24. අවිගත පච්චය[638] යි

මෙසේ සූවිසි ප්‍ර‍ත්‍යයක් වදාළහ.

 

1 හේතුප්‍ර‍ත්‍යය, “හෙතු ච සො පච්චයො ච” සුප්‍ර‍තිෂ්ඨිත භාවයෙන් හේතු නමුදු - උපකාර භාවයෙන් ප්‍ර‍ත්‍යය නමුදු වේ යයි හේතුප්‍ර‍ත්‍යය නමි.

 

විශේෂ:- මෙසේ කී කල අධිපතිප්‍ර‍ත්‍යයාදි බවට පැමිණි හේතුහු ගේ ද ගැනීම වන හෙයින් ඒ වළකනු සඳහා “හෙතුහුත්‍වා පච්චයෝ” ‘හේතු වී ප්‍ර‍ත්‍යය වීම ය’ යි කී. එසේ කී කල ද ඒ දෝෂයම වන හෙයින් “හේතු භාවෙන පච්චයො” ‘හේතු-භාවයෙන් ප්‍ර‍ත්‍යය වීමය’ යි කියන ලදී. (ආලම්බන ප්‍ර‍ත්‍යාදියෙහි ද ප්‍ර‍ත්‍යය භාවය මෙසේ මැයි.)

 

විස්තර:- මෙහි හේතු යනු - වචනාවයවය, කාරණ්‍ය, මූලය යන මොවුනට ව්‍යවහාර වේ. (ප්‍ර‍තිඥා- හේතු යනාදීන්හි නෛය්‍යායිකයෝ සාධතාවයවය හේතුය යි ය කියති. ප්‍ර‍තිඥා- හේතු- උදහරණ- උපනය- නිගමනයැ යි අනුමානර්‍ථ ප්‍ර‍තීතිය සඳහා පඤ්චාවයවයක් ගැනේ. හේතුව ද මින් එකෙකි.) ශාසනයෙහි “යෙ ධම්මා හෙතුප්පභවා”[639] යනාදීන්හි කාරණයෙහි වේ.

 

තයො කුසල හෙතු තයො අකුසල හෙතු”[640] යනාදීන් මූලය හේතු යයි ගැනේ. එය මේ “හෙතු පච්චයො” යන්නෙහි අභිප්‍රේත යැ. මූල ශබ්දය මෙන් හේතු ශබ්දය ද පිහිටීම අර්‍ථය කියා. (භූමියෙහි පිහිටා උඩට ඕජාව අදනා මුලින් වෘක්‍ෂය ස්ථිරවැ වැ සිටීම හා වැඩීම වන්නා සේ කර්‍ම නිදාන වූ හේතුවින් කර්‍මය ස්ථිරවැ පිහිටුවා ඵලය වැඩීමට පමුණුවන හෙයින් හේතු නමි.)

 

පච්චය යන්නෙහි මේ වචනාර්‍ථය: “පටිච්ච එතසමා එතීති”1 ඒ නිසා එයින් ඵලය හටගනීනුයි. ප්‍ර‍ත්‍යය නමි.

 

බැහැර නො කොට එක්වැ ම පවතීය යන අර්‍ථයි.

 

එයින් කීහ:- අටුවාහි “යො හි ධම්මො යං ධම්මං අපච්චක්ඛාය තිට්ඨති වා උප්පජ්ජති වා සො තස්ස පච්චයො[641] යි යම් උපකාරක ධර්‍මයක් යම් ඵල ධර්‍මයක් නො හැර සිටි නම් හෝ උපදී නම් හෝ ඒ හේතු ධර්‍මය ඒ ඵල ධර්‍මයට ප්‍ර‍ත්‍යය යි කියා යැ.

 

ලක්‍ෂණ වශයෙන් වනාහි උපකාර කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ ප්‍ර‍ත්‍යය යැ. එහෙයින් ම යම් ධර්‍මයක් යම් ඵල ධර්‍මයක ගේ පැවැත්මට හෝ නිපැත්මට උපකාර වේ නම් ඒ උපකාරක ධර්‍මය ඒ ඵල ධර්‍මයට ප්‍ර‍ත්‍යය වේ යයි කියනු ලැබේ.

 

පච්චය - හේතු - කාරණ - නිදාන - සම්භව - පභව යනාදි ශබ්දයෝ අර්‍ථයෙන් එකෙක් මැයි. වචනයෙන් මතු වෙනසි.

 

මෙසේ මූලාර්‍ථයෙන් හේතු ය, උපකාරර්‍ථයෙන් ප්‍ර‍ත්‍යයැ යි සුප්‍ර‍තිෂ්ඨාර්ථයෙන් උපකාරක වූ ධර්‍ම ශක්තිය හේතු ප්‍ර‍ත්‍යය යි. සැකෙවින් කියයි.

 

මතාන්තරයෙකි:- (1) සාලි බීජාදිය හැල් ආදි ඒ ඒ ද්‍ර‍ව්‍යයන් ගේ හැල් ආදී භාවය සිදු කරන්නා සේ ද, නිල් මැණික් ආදිය ද නීලවර්‍ණාදිය ද නීල ප්‍ර‍භාආදිය සිදු කරන්නා සේ ද, හේතු ප්‍ර‍ත්‍යය තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට සුදුසු සේ කුසලාදි භාවය සිද්ධ කෙරේ ය යි රේවතාචාර්‍ය්‍යයෝ කියති.

 

විචාරණය:- හේතු ප්‍ර‍ත්‍යය කුසලාදී භාවය සිද්ධ කෙරේ නම් කුසල් - අකුසල් හේතු ඒ හේතුවෙන් නිපන් අරූපායගේ කුසලාකුසල භාවය සිදු කිරීමට සමර්‍ථ නො වේ. එසේම අව්‍යාකෘත හේතුව ද අව්‍යාකෘත හේතුවෙන් නිපන් රූපයා ගේ අව්‍යාකෘත භාවය සිදු කිරීමට සමර්‍ථ නො වේ. එහෙත් ඔවුන්ට හේතු ප්‍ර‍ත්‍යය නො වන්නේ නො වෙයි. (හේතු ප්‍ර‍ත්‍යය වේමැ යි) එහෙයින් වදාළහ. “හේතු හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතු පච්චයෙන පච්චයො[642] ලොභා ‘ලොභාදි හේතූහු ඒ හේතු සම්ප්‍ර‍යුක්ත චිත්ත චෛතසික ධර්‍මයනට හා එයින් නිපන් රූපයනට ද හේතු ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වෙති’ යි කියායි.

 

අහේතුක (විපාක-ක්‍රියා) චිත්තයන් ගේ හා රූප ධර්‍මයන්ගේ ඒ අව්‍යාකෘත භාවය සිදු කරන හේතු නැත ද ස්වභාවයෙන් ම අව්‍යාකෘත භාවය සිද්ධ යැ.

 

කරුණු මෙසේ හෙයින් සහේතුකයන්ගේ ද, කුසලාදිභාවය හේතු ප්‍ර‍තිබද්ධ නො වැ යෝනිසො මනසිකාරාදි ප්‍ර‍තිබද්ධයැ යි දත යුතුය.

 

ඒ මෙසේ වදාළහ:- “යොනිසො භික්ඛ වෙ මනසිකරොතො අනුප්පන්තා චෙව කුසලා ධම්මා උප්පජ්ජනි උප්පන්නා ච කුසලා ධම්මා අභිවඩ්ඪන්තී”[643] නුවණින් මෙනෙහි කරන්නා හට නූපන් කුසල් උපදී උපන් කුසල් වැඩේ ය යි කියා යි.

මෙසේ කුසලාදීභාවය (සම්ප්‍ර‍යුක්ත හේතූන් නිසා නො වැ) යෝනිසො මනසිකාරය ප්‍ර‍තිබද්ධ බව් ස්ඵුට යැ.

 

(මේ කුසල භාවය මෙන් ම අකුසල-අව්‍යාකෘත භාවය ද, හේතු ප්‍ර‍තිබද්ධ නො වන බව හෙයින් මැ සිද්ධ යි.)

 

මෝහ මූලික දෙසිතෙහි මෝහය අන්‍ය හේතුවක් හා නො යෙදී හුදකලාව යෙදුනු හෙයින් ඒ මෝහයාගේ අකුසල භාවයස්වයං සිද්ධ වූවා සේ හේතූන්ගේන් (අන්‍ය) ඒ හේතූන් හා සම්ප්‍ර‍යුක්ත වූ ධර්‍මයන්ගේ කුසලාදීන් භාවය ස්වයංසිද්ධ නො වැ හේතු ප්‍ර‍තිබද්‍ධ වේ යයි තවද ආචාර්‍ය්‍ය මතයෙකි. ඒ නො යෙදේ.

 

කවකර හෙයින්ද යත්:-

 

කුසලාදීන් හා සම්ප්‍ර‍යුක්ත හේතූන් ගේ ස්වභාවයෙන් ම කුසලාදීභාවය වේ නම්, සෙසු සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් ගේ කුසලාදී භාවය ද හේතු ප්‍ර‍තිබද්ධ වේ නම්, අලෝභය කුසල් හෝ වෙයි. අව්‍යාකෘත හෝ වෙයි. එහෙත් අලෝභය ස්වභාවයෙන් කුසල් වී නම් කුසල ස්වභාවයෙන් අව්‍යාකෘත නො වේ. අලෝභ ස්වභාවය අද්වේෂ ස්වභාවයෙන් නොවන්නාක් මෙනි.

 

මෙසේ හේතූහු කුසල-අව්‍යාකෘත ද්විස්වභාවය වන හෙයින් එසේ ම ද්‍විස්වභාව වූ ශ්‍ර‍ද්ධාදි සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් ගේ හේතුන් පිළිබඳ වූ කුසලාදීභාවය සිද්ධ කරන අන්‍ය ධර්‍මයන් සොයන්නා සේ (ස්වභාවයෙන් කුසලාදී නොවන හෙයින්.) හේතූන් ගේ ද කුසලාදී භාවය සිද්ධ කරන අන්‍ය ධර්‍මයක් සෙවිය යුතු ය.

 

(එසේ නොයන කල හේතූන් කෙරෙහි මෙන්ම සම්ප්‍ර‍යුක්තයන් කෙරෙහි ද කුසලාදීභාවය යෝනිසො මනසිකාර ප්‍ර‍තිබද්ධ ය. හේතු ප්‍ර‍තිබද්ධ නොවේ යනු අභිප්‍රාය වෙයි.)

 

නිගමනය:- මෙසේ හේතූන් කුසලාදීභාවය සිද්ධ කිරීම් වශයෙන් මූලාර්ථය නො ගෙන, අරමුණෙහි සුප්‍ර‍තිෂ්ඨිත භාව සාධන වශයෙන් මූලාර්ථය ගත් කළ කිසිදු විරෝධයක් නොවේ.

 

ඒ මෙසේ මැයි : ලබන ලද හේතු ප්‍ර‍ත්‍යය ඇති ධර්‍මයෝ මනා වැ පිහිටි මුල් ඇති වෘක්‍ෂයක් මෙන් ද ස්ථිර වූවාහු සුප්‍ර‍තිෂ්ඨිත වෙති.

 

අහේතුකයෝ ‘නිලබීජකාදි’ නම් ඇති සෙවෙල් මෙන් සුප්‍ර‍තිෂ්ඨිත නොවෙත්. (තිලබීජක-නම් සියිනිනිලි යනු සන්‍යයි.)

 

මෙසේ පොළොව යටට ඇදුණු මුල් ගසෙහි සෙසු කොටස් ස්ථිර වැ සිටීමට උපකාර වන්නා සේ ආලම්බනයෙහි කා වැදී තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් සුස්ථිරවැ පිහිටීමට උපකාර වන ලෝභාදි ධර්‍මයෝ හේතු ප්‍ර‍ත්‍යය නම් වෙති.

 

(ලොභාදියෙහි ඇති අරමුණෙහි නො සැලී පිහිටන ස්වභාවය හේතු ශක්තිය යි කියනු ලැබේ.)

 

2. ආලම්බන ප්‍ර‍ත්‍යය

 

චිත්ත - චෛතසික ධර්‍මයනට ආලම්බන කළ යුතු (එල්විය යුතු) බැවින් උපකාරක ධර්‍මය ආලම්බන ප්‍ර‍ත්‍යය යැ.

 

“රූපායතනං චක්ඛුවිඤ්ඤාණ ධාතුයා = පෙ= යං යං ධම්මං ආරබ්භ යෙ - යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්ත චෙතසිකා ධම්මා. තෙ -තෙ ධම්ම තෙසං -තෙසං ධම්මානං ආරම්මණ පච්චයෙන පච්චයො”[644] රූපායතනය චක්ඛු විඤ්ඤාණයට ද -පෙ- රූපාදී යම් යම් ධර්‍මයක් අරමුණු කොට චිත්ත - චෛතසික යම-යම් ධර්‍ම කෙනෙක් උපදිත් නම් ඒ ඒ (ආලම්බන) ධර්‍ම ඒ ඒ චිත්ත-චෛතසික ධර්‍මයන්ට ආලම්බන ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ’ය යි අවසන් කළ හෙයින් රූපාදි භේදයෙන් ෂඩ්විධ වූ සඞ්ඛත අසඞ්ඛත - පඤ්ඤත්ති යන ධර්‍මයන් අතුරෙන් ආලම්බන ප්‍ර‍ත්‍යය නො වන ධර්‍මයෙක් නැති.

 

නිදර්‍ශන:- දුර්‍වල පුරුෂයකු දණ්ඩක් හෝ රෙද්දක් හෝ එල්බ නැගිටින්නා සේ ද, සිටින්නා සේ ද චිත්ත - චෛතසික ධර්‍මයෝ රූපාදි අරමුණෙකැ එල්බ උපදින්නාහුද, සිටින්නා හු වෙති. එහෙයින් චිත්ත - චෛතසිකයනට අරමුණු වූ සියලු ධර්‍ම ම ආලම්බන ප්‍ර‍ත්‍යය වේ ය යි යුතු යි.

 

3 අධිපති ප්‍ර‍ත්‍යය.

 

තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ඊශ්වරත්‍වයෙන් උපකාරක ධර්‍ම අධිපති ප්‍ර‍ත්‍යය යැ (තමා රිසි සේ යෙදවීම යැ මෙහි අධිපති ප්‍ර‍ත්‍යය නම්) ඒ (1) සහජාතිධිපති (2) ආලම්බනාධිපති වශයෙන් ද්විවිධ යැ.

 

(1) ජන්‍දාධිපති ඡන්‍දසම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චයෙන පච්චයො”[645] ඔවුනතුරින් ඡන්දාධිපති තෙමේ ඡන්දය හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට හා තත් සමුට්ඨාන රූපයන්ට ද අධිපති ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

ඡන්‍දවතො කිං නාම න සිජ්ඣති” ‘ඡන්‍දය ඇත්තාහට කිමෙක් නම් සිද්‍ධ නො වේ දැ’ යි පූර්‍ව අහිසංස්කාරයන් ගේ උපනිශ්‍ර‍ය ලැබ උපදනා විතේතාත්පාදයෙහි ඡන්‍දාදීහු පුරෝගාමි වැ ජ්‍යෙෂ්ඨ සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් තමන් වශයෙහි පවත්වති. සම්ප්‍ර‍යුක්ත ධර්‍මයෝ ද ඒ ඡන්‍දාදීන් ගේ වශයෙහි පවත්නාහු හීනාදි භාවයෙන් ඒවාට අනුවර්‍තක වෙමින් පවතිත්.

 

මෙසේ ඡන්‍ද - චිත්ත - විරිය - විමංසා යන ධර්‍ම සතර ප්‍ර‍ත්‍යය යි දතයුතු.

 

විශේෂ:- එවකට බොහෝ දෙන අධිපති නො වන බැවින් සතර එක් වැ අධිපති ප්‍ර‍ත්‍යය නො වේ.

 

(හේතු දෙක තුනක් එකවිට හේතු ප්‍ර‍ත්‍යය වනහෙයින් “හෙතු හෙතු සම්පයුත්තකානං යි කීවා සේ අධිපති අධිපති සම්පයුත්තකානං” යි නො කියා “ඡන්‍දාධිපති ඡන්‍දසම්පයුත්ත කානං” යි කීයේ එක් වරෙකැ එකක් ම අධිපති වන හෙයිනි.

 

යම් කලෙක ඡන්‍දය ධූර කොට ඒ ඡන්‍දය ජ්‍යෙෂ්ඨ කොට චිත්තය පවතී නම් එකල ඡන්‍දය ම අධිපති වෙයි සෙස්සෝ අධිපති නොවෙති. සෙසු චිත්තාදීන් විෂයෙහි ද මෙසේ මැ යි.

 

(2) ආරම්මණාධිපති - යම් ධර්‍මයක් ගරුකොට අරූප ධර්‍මයෝ පවතිත් නම් ඒ ගරු කළ ධර්‍මය ඔවුන්ට ආලම්බනාධිපති ප්‍ර‍ත්‍යය වේ.

 

එයින් වදාළහ. “යං යං ධම්මං ගරුං කත්‍වා යෙ - යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්ත චෙතසිකා ධම්මා. තෙ -තෙ ධම්මා තෙසං- තෙසං ධම්මානං අධිපති පච්චයෙන පච්චයො”1 යම් යම් ආලම්බන ධර්‍මයක් ගරුකොට චිත්ත චෛතසික යම් යම් ධර්‍ම කෙනෙක් උපදිත් නම් ඒ ඒ ගරු කොට ගන්නා ලද ධර්‍ම ඒ ඒ ගරු කරන ධර්‍මයනට ආලම්බන ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වේ.

 

4 අනන්තර ප්‍ර‍ත්‍යය

5 සමනන්තර ප්‍ර‍ත්‍යය

 

අතුරු නැති සේ උපකාරක ධර්‍මය අනන්තර ප්‍ර‍ත්‍යය යැ. මනාකොට අතුරු නැති බැවින් උපකාරක ධර්‍ම සමනන්තර ප්‍ර‍ත්‍ය යි. මේ ප්‍ර‍ත්‍යය ද්වයයෙන් අත්‍ථානන්තරභාවය අනන්තර ප්‍ර‍ත්‍යය යැ.

 

කාලානන්තරභාවය සමනන්තර ප්‍ර‍ත්‍යය යනාදීන් බොහෝ විස්තර කෙරෙති. එ අසාර යැ. මේ වූ කල චිත්ත නියමය ම හේතු භාවයෙන් කියන ලදී.

 

චක්ඛු විඤ්ඤාණ අනන්තර මනොධාතු[646] = චක්ඛු විඤ්ඤාණයට අනන්තර වූ මනෝධාතු යැ. මනෝධාතු අනන්තරා මනොවිඤ්ඤාණ ධාතු1 = මනොධාතුවට අනන්තර වැ මනොවිඤ්ඤාණ ධාතු යැ යි යනාදියෙහි යම් චිත්ත නියමයෙක් වේ. නම් එය ඒ ඒ පූර්‍ව පූර්‍ව අනන්තරයෝපාද චිත්ත නියමය අනුව වේ. අන් පරිද්දෙකින් නොවේ එහෙයින් තම - තමාහට අනතුරුව සුදුසු චිතේතත්පාද ඉපදවීමේ සමර්‍ථ වූ ධර්‍මය අනන්තර ප්‍ර‍ත්‍යය යැ. යමක් අනන්තර ප්‍ර‍ත්‍යය වේ නම් එය සමනන්තර ප්‍ර‍ත්‍යයැ යි. මේ ප්‍ර‍ත්‍යයද්‍වයෙහි ව්‍යඤ්ජන මාත්‍ර‍ය වෙනසි. උපචය -සන්තති දුකයෙහි මෙන් ද, අධීවචන - නිරුත්ති දුක යෙහි මන් දැ යි කියා යි. (උපචය -සන්තති පදයන්ගේ ද, අධි වචන - නිරුත්ති පදයන්ගේ ද අර්‍ථ එකෙක් මැයි) අර්‍ථ වශයෙන් වෙනසෙක් නැති.

 

පෙර කී සේ පූර්‍ව-පශ්චිම චිත්තයන් ගේ අතුරෙක් නැත්මනු යි අනන්තර නම් වේ. සටහනක් නැති බැවින් මනාව අතුරක් නැත්තේ සමනන්තර නම් වේ. යට සඳහන් පරිදි අත්‍ථානන්තර භාවය අනන්තර ප්‍ර‍ත්‍යය යි කාලාන්තර භාවය සමනන්තර ප්‍ර‍ත්‍යයැයි දකී රේවතස්ථවිර මතය නිරස්ත කරනුවෝ.

 

“නිරොධා වුට්ඨහන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසලං ඵලසමාපත්තියා සමනන්තර පච්චයො”[647] නිරෝධ සමාපත්තියෙන් නැගිටිනන්හුට ඒ නිරෝධ සමාපත්තියට පූර්‍වයෙහි වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල චිත්තය නිරෝධයෙන් නැගිටීමේදී උපදනා අනාගාමි ඵල චිත්තයට හෝ අර්හත් ඵල චිත්තයට සමනන්තර ප්‍ර‍ත්‍යයෛන් ප්‍ර‍ත්‍යය වේ ය යි වදාළ සේක.

 

යම්කිසි අන්‍යධර්‍මයකට අතරට පැමිණීමට අවකාශ නො තබා තමාට අනතුරුවැ ම උපදනා පරිදි දෙවන චිත්තයට උපකාර වන ධර්‍ම සමනන්තර ප්‍ර‍ත්‍යය යැ.

 

පෙර කී නිරෝධ සමාපත්තියන් නැගිටින්නහු ගේ සත් දවසකට පෙ නිරුද්ධ වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තය නිරෝධයෙන් නැගිටීමේදී දී උපදනා ඵල චිත්තයට රූප සර්තතීන්ගෙන් අතරක් ඇති වීම නිසා ද, කාලයෙන් අතරක් ඇතිවීම නිසාද සමනන්තර ප්‍ර‍ත්‍යය නොවේ ය යනු රේවත ස්ථවිර මතය යි. එය පෙර කී පට්ඨාන පාඨය දක්වා බැහැර කෙරෙති.

 

(තව ද මල් පිපෙන රුකක් කඩ රෙද්දෙකින් වෙලු කල වෙලුම නිසා නො පිපෙතත් ඒ ඉවත් කළ කල මල් පිපෙන්නා සේ භාවනා බලයෙන් වැළකූ හෙයින් උපදිනු සමර්‍ථ වූ චිත්තය නූපදිතත් එය නැවැත්වූ කෙණෙහි උපදනා හෙයින් ධර්‍මයන් ගේ ප්‍ර‍වෘත්ති මාත්‍ර‍ය ම නිසා කාලය ම ගැනෙන හෙයින් නිරෝධයෙන් නැගෙන්නහු ගේ නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තය හා ඵල සමාපත්ති අතර අරූප ධර්‍මයන් ගේ පැවැත්මක් නැති හෙයින් කාලානන්තර භාවය නො වේ.)

 

රූප ධර්‍ම ප්‍ර‍වෘත්තිය අරූප ධර්‍මයනට භින්න සන්තාන හෙයින් අර්‍ථානන්තර භාවය ද නොවේ. ඒක සන්තතියෙහි පූර්‍ව පශ්චිමයන් මධ්‍යයෙහි පවත්නා තත් සන්තති පර්‍ය්‍යාපන්න වූ යේ ම අනන්තර වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතන ඵල සමාපත්තීන් මධ්‍යයෙහි එබඳු අතරක් නැති හෙයින් ජවනානන්තර ජවනය මෙන් ද, භවඞ්ගානන්තර භවාඞ්ගය මෙන් ද, ඔවුන් ගේ අනන්තර භාවය සිද්ධ යැ. අසඤ්ඤසත්ත ප්‍ර‍තිසන්‍ධි- චූතීන් පිළිබඳ වැ ද මෙසේ මැ යි. (ටීකාහි මේ පිළිබඳ මනා විස්තරයෙකි.) මෙසේ කාලයෙන් හෝ රූපයෙන් අනන්තර සමනන්තර ප්‍ර‍ත්‍යය භාවයට බාධාවක් නැති බව් දත යුතු.)

 

හුදෙක් ප්‍ර‍ත්‍යුත්පන්න ධර්‍ම තමාගෙන් වෙන් කරන අන්තර ධර්‍මයක් ඇති නොවන සේ උපකාරක ධර්‍මය අනන්තර ප්‍ර‍ත්‍යය යැ.

 

ප්‍ර‍ත්‍යුත්පන්න ධර්‍මයන් තමා හා ඒකී භාවයට පැමිණියා සේ මනාකොට අතුරු නැති වැ ඉපදීමේ සමර්‍ථ බව සමනන්තර ප්‍ර‍ත්‍යය යි.

 

6. සහජාත ප්‍ර‍ත්‍යය:- තමා හා එකවට උපදනා අන්‍ය ධර්‍මයන්ගේ ඉපදීමට, එක්වැ ඉපදීම් වශයෙන් උපකාරක ධර්‍ම සහජාත ප්‍ර‍ත්‍යය යැ. ආලෝකයට ප්‍ර‍දීපය මෙනි. මේ උපමාවෙන් උත්පාදක්‍ෂණයෙහි ප්‍ර‍කට වූ ප්‍ර‍ත්‍යය භාවයෙන් ස්ථිති ක්‍ෂණයෙහි ද ප්‍ර‍ත්‍යය භාවය වේ. නො එසේ වුව මේ උපමාව නො ගැළපේ. ප්‍ර‍දීපය ආලෝකයා ගේ ඉපදීමට මෙන් ම පැවැත්මට ද උපකාර වන හෙයිනි. (ප්‍ර‍ත්‍යුත්පන්නයට සහජාත භාවයෙන් උපකාර වීමේ ශක්තිය සහජාත භාවය යි.) ඒ සහජාත ප්‍ර‍ත්‍යය අරූප ස්කන්‍ධාදීන් ගේ වශයෙන් සවැදෑරුම්.

 

ඒ මෙසේ යි:- (1) චත්තාරො ඛන්‍ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං සහාජාතපච්චයෙන පච්චයො. (2) චත්තාරො මහාභූතා -පෙ- (3) ඔක්කනතික්ඛණෙ නාම -රූපං අඤ්ඤමඤ්ඤං (5) මහාභූතා උපාදා රූපානං, (6) රූපිනො ධම්මා අරූපීනං ධම්මානං කිඤ්චි කාලේ සහජාත පච්චයෙන පච්චයො කිඤ්චී කාලෙ න සහජාත පච්චයෙන පච්චයො[648]

 

(1) වේදනාදි සතර අරූප ස්කන්‍ධ ඔවුනොවුන්ට සහජාත ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.

(2) සතර මහාභූත ඔවුනොවුන් ද,

(3) (පඤ්චවොකාර භවයෙහි) ප්‍ර‍තිසන්‍ධි ක්‍ෂණයෙහි සතර නාම ස්කන්‍ධ හා හෘදය වස්තු රූපය ඔවුනොවුන්ට ද,

(4) චිත්ත-චෛතසික ධර්‍ම චිත්තජ රූපයන්ට ද,

(5) සතර මහා භූත කර්‍මජ රූපයන්ට ද,

(6) හෘදය වස්තු රූපය අරූප ධර්‍මයන්ට ද, ප්‍ර‍තිසන්‍ධි කාලයෙහි සහජාත ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍වෘත්ති කාලයෙහි සහජාත ප්‍ර‍ත්‍යය නොවේ.

 

විශේෂ:- ප්‍ර‍තිසන්‍ධි ක්‍ෂණයෙහි නාම රූප ධර්‍ම පරලොවින් මෙලොවට අවුත් මව්කුස ආදියට පිවිසෙන්නාක් මෙන් වන හෙයින් ප්‍ර‍තිසන්‍ධි ක්‍ෂණය ඔක්කන්තික්ඛණයයි කියනු ලැබේ.

 

මේ රූපිනො ධම්මා යනු හෘදය වස්තු රූපය සඳහාම කියන ලදී. ප්‍ර‍වෘත්ති කාලයෙහි අරූප විපාක සතර ද, ද්‍විපඤ්චවිඤ්ඤාණය ද, හැර සෙසු පන්සැත්තෑ (75) සිත් ද, දෙ පනස් (52) චෛතසික ද, යන මෙතෙක් ධර්‍ම ඒ සිත් හා උපදනා රූපයනට සහජාත ප්‍ර‍ත්‍ය වේ. ප්‍ර‍තිසන්‍ධි ක්‍ෂණයෙහි චිත්තජ රූප නැති හෙයිනි.

 

පූර්‍වෝක්ත පට්ඨාන පාඨයෙහි “අඤ්ඤමඤ්ඤං” යනු තුනක් හා යෙදේ. තුනක් හා නො යෙදේ.

 

එහි විශේෂය නම්:- අරූපමය ම ප්‍ර‍ත්‍යය හා ප්‍ර‍ත්‍යය සමුත්පන්නා වේ. රූපය  ප්‍ර‍ත්‍යය ද, ප්‍ර‍ත්‍යය සමූත්පන්න ද වේ. නාම-රූප ප්‍ර‍ත්‍යය සමුත්පන්න ද වේ. අරූපය ප්‍ර‍ත්‍යය සමුත්පන්නවේ. රූපය ම ප්‍ර‍ත්‍යය හා ප්‍ර‍ත්‍යය සමුත්පන්න වේ. රූපය ප්‍ර‍ත්‍යය වේ. අරූපය ප්‍ර‍ත්‍යය සමුත්පන්න වේ යනුයි.

 

7. අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය - ඔවුනොවුන් ගේ නිපැත්මට හා පැවැත්මට උපස්තම්භක භාවයෙන් උපකාර වන ධර්‍ම අඤ්ඤමඤ්ඤ ප්‍ර‍ත්‍යය යි. ඔවුනොවුන්ට උපස්තම්භක වන්නා වූ ත්‍රිදණ්ඩ මෙනි. (මුල කොන් මඳක් ඈත් කොට අග කොටස් එකිනෙකට හේත්තු වන සේ තුබූ දඬු තුන නො පෙරලී සිටීමට ඔවුනොවුන්ට උපකාර වන්නා සේ ය.) තමාහට උපකාර වන්නාහට උපකාර වීම මෙහි ලක්‍ෂණය යි.

 

විශේෂ:- අන්‍යොන්‍ය වශයෙන් උපකාර වන ධර්‍මයෝ ඒ ධර්‍මයනට සහජාත වශයෙන් ද උපකා වෙති. එහෙත් සහජාත වශයෙන් උපකාර වන ඇතැම් ධර්‍මයෝ ඒ ධර්‍මයනට අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය නො වෙති.

 

මේ අරූපස්කන්‍ධාදි වශයෙන් ත්‍රිවිධ වේ.

 

(1) “චත්තාරො ඛන්‍ධා අරූපිනො අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (2) චත්තාරො මහාභුතා අඤ්ඤමඤ්ඤං (3) ඔක්කන්තික්ඛණෙ නාම-රූපං අඤ්ඤමඤ්ඤපච්චයන පච්චයො”[649]

 

(1) සතර නාම ස්කන්‍ධ ඔවුනොවුන්ට ප්‍ර‍ත්‍යය වේ.

(2) සතර මහාභූත ඔවුනොවුන්ට ද,

(3) ප්‍ර‍තිසන්ධි ක්‍ෂණයෙහි සතර නාම ස්කන්‍ධ හා හෘදය වස්තු රූපය ඔවුනොවුන්ට ද ප්‍ර‍ත්‍යය වෙති.

 

විශේෂ:- මෙහි අඤ්ඤමඤ්ඤ යන දෙකින් ප්‍ර‍ත්‍යය හා ප්‍ර‍ත්‍යයාත්පන්නය ද යන දෙක කියැ වෙ. (අඤ්ඤං අඤ්ඤං= අඤ්ඤමඤ්ඤං මකාරය සන්‍ධියෙනි)

 

8. නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය.

 

පිහිටීම ආධාරාකාරයෙන් උපකාරක ධර්‍මය නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය යැ. ගස් ආදියට පොළොව මෙන් ද, චිත්‍ර‍කර්‍මාදියට වස්ත්‍රාදිය මෙන් ද, පෘථිවි ධාතුව සෙසු ධාතූන්ට ද, චක්‍ෂුරාදිය චක්‍ෂුර්විඥානාදියට ද, ආශ්‍රිත ස්කන්‍ධාදිය සෙසු ස්කන්‍ධාදියට ද නිශ්‍ර‍ය වේ.

 

ඒ නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය “චත්තාරො ඛන්‍ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං නිස්සයපච්චයෙන පච්චයො”[650] යනාදීන් සහජාත ප්‍ර‍ත්‍යය විෂයෙහි කී සෙයින් දත යුතුයි.

 

විශේෂ:- එහි සවන කොටස වෙනසි.

 

ඒ මෙසේයි:- “චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා - සොත-ඝාණ-ජිව්හා-කායායතනං කායවිඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සයපච්චයෙන පච්චයො. යං රූපං නිස්සාය මනොධාතු ච මනො විඤ්ඤාණ ධාතුච වත්තන්ති තං රූපං මනොධාතුයා මනො විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සයපච්චයෙන පච්චයො1

 

“චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණ ධාතුවට ද, තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ද, නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. සෝත - ඝාණ - ජිව්හා - කායායතන - කාය විඤ්ඤාණ ධාතුවට ද, තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ද, නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. යම් (හෘදය) රූපයක් නිසා මනෝ ධාතු - මනෝවිඤ්ඤාණ ධාතු පවතී නම් ඒ රූපය මනෝධාතු - මනෝවිඤ්ඤාණ ධාතූන්ට ද, තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට ද, නිශ්‍ර‍යප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. (එහි “රූපිනො ධම්මා- පෙ- කස්මිඤ්චිකාලෙ” යනාදි පාඨය වෙනුවට මෙහි මෙසේ යෙදේ.)

 

නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය (1) සහජාත නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය

 

(2) පුරෙජාත නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය යි ද්‍විවිධ වේ.

 

(1) සහජාත නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය - සහජාත ප්‍ර‍ත්‍යය මෙනි.

(2) පුරෙජාත නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය පෙරැ ‘චක්ඛායතනං’ යනාදි පට්ඨාන පාඨයෙහි කී පරිදි තමාගෙන් පසුවැ උපදනා ධර්‍මයනට පිහිටීමට උපකාරවීම් ස්වභාවයයි.

 

9. උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය.

 

හේතුව හා සම්බන්‍ධ පැවැතුම් හෙයින් තමා (හේතුව) ඵලය විසින් ආශ්‍රිත වූයේ (ප්‍ර‍තික්‍ෂේප නොකරන ලද්දේ) නිශ්‍ර‍ය නමි. බලසම්පන්න වූ නිශ්‍ර‍ය උපනිශ්‍ර‍ය යැ. බලවත් ආයාසය උපායාසය මෙනි. එහෙයින් බලවත් කාරණ භාවෙන් උපාකාරක ධර්‍මය උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය යැ.

 

එය

(1) ආලම්බනොපනිශ්‍ර‍ය යැ.

(2) අනන්තරොපනිශ්‍ර‍ය යැ.

(3) ප්‍ර‍කෘතොපනිශ්‍ර‍ය යැ ත්‍රිවිධ වේ.

 

(1) “දානං දත්‍වා සීලං සමාදියිත්‍වා - තං ගරුං කත්‍වා පච්චවෙක්ඛති”[651] දන් දී, සිල් සමාදන් වැ ඒ ගරු කොට ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ.

 

“පුබ්බෙ සුචිණ්ණානි ගරුං කත්‍වා පච්චවෙක්ඛති”1 ‘පෙර තමා පුරුදු කළ යහපත් ධර්‍ම ගරු කොට අරමුණු කෙරේ.’

 

“ඣානා වුට්ඨාය ඣානං ගරුං කත්‍වා පච්චවෙක්ඛති”1 ‘ධ්‍යානයෙන් නැගී සිට ධ්‍යානය ගරු කොට ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ.

 

සෙක්ඛා ගොත්‍ර‍භූං ගරුං කත්‍වා පච්චවෙක්ඛති1 සෝතාපන්නයෝ (ඒ මාර්‍ගයට) ගෝත්‍ර‍භූ සිත ගරු කොට ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරෙති.’

 

“වොදානං ගරුං කත්‍වා පච්චවෙක්ඛති”1 සකදාගාමි අනාගාමීහු වොදානය ගරු කොට මෙනෙහි කෙරෙති.’

 

සෙක්ඛාග්ග වුට්ඨහිත්‍වා මග්ගං ගරුං කවො පච්චවෙක්ඛති” ‘සෝතාපන්නාදීහු මාර්‍ගයෙන් නැගී ඒ මාර්‍ගය ගුරු කොට ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරත්’ මේ ආදී ක්‍ර‍මයෙන් ආලම්බනෝපනිශ්‍ර‍ය ආලම්බනාධිපතිය හා නො වෙනස් වැ බෙදන ලදී.

 

යම් අරමුණක් ගරු කොට චිත්ත-චෛතසික ධර්‍ම උපදී නම් ඒ ආලම්බනය (නියමෙන්) ඒ චිත්ත - චෛතසික ධර්‍මයනට ආලම්බනන් අතුරින් බලවත් ආම්බනය වේ. මෙසේ ගරු කොට ගැනීමෙන් එය ආලම්බනාධිපති ප්‍ර‍ත්‍යය ද වේ.

 

බලවත් වූ හේතුභාවයෙන් ආලම්බනොපනිශ්‍ර‍ය වේ. මේ විශේෂයෙ යි.

 

(2) බලවත් සේ අනන්තර වීම අනන්තරරොපනිශ්‍ර‍ය යැ. භෙද අනන්තර ප්‍ර‍ත්‍යය මෙනි.

 

“පුරිමා පුරිමා කුසලා ඛන්‍ධා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ඛන්‍ධානං උපනිස්සයපච්චයෙන පච්චයො”[652] ‘පූර්‍ව-පූර්‍ව කුශල ස්කන්‍ධ පසු වැ පසු වැ උපදනා කුශල ස්කන්‍ධයනට උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ’ යනාදි ක්‍ර‍මයෙන් අනන්තර ප්‍ර‍ත්‍යය හා අවිශේෂයෙන් බෙදන ලදී.

 

විශේෂ:- මාතිකා නිකේඛපයෙහි “චක්ඛු විඤ්ඤාණ ධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනොධාතුයා තං සම්පයුත්තකා නං ච ධම්මානං අනන්තර පච්චයෙන පච්චයො”[653] ‘චක්ඛුවිඤ්ඤාණ ධාතුව තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍ම ද, මනො ධාතුවට හා තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ද අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වේ.’‍ යනාදී ක්‍ර‍මයෙන් අනන්තර ප්‍ර‍ත්‍යයට ද.

 

“පුරිමා - පෙ- උපනිස්සයපච්චයෙන පච්චයො” යි (අර්‍ථ පෙර කී සේ යි.) යනාදීන් උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයට ද ආ හෙයින් නික්‍ෂපයෙහි විශේෂ ඇති පූර්‍ව නය අව්‍යාකෘත ධර්‍ම වශයෙන් ද, දෙවන නය කුශලාදී වශයෙන් ද, ප්‍ර‍වෘත්ත හෙයින් ද නික්‍ෂේපයෙහි විශේෂය ඇති. ඒ නික්‍ෂේප විශේෂය ද අර්‍ථ වශයෙන් ඒකී භාවයට යේ. එසේ ඇති කල්හුදි තම තමාට අනතුරුවැ සුදුසු චිතේතාත්පාදයක් ඉපදීමෙහි සමර්‍ථ බැවින් අනන්තර ප්‍ර‍ත්‍යය බව ද, පූර්‍ව චිතේතාත්පාදනය පශ්චිම - පශ්චිම චිතේතාත්පාදයට බලවත් වන හෙයින්ද අනන්තරොපනිශ්‍ර‍ය බව ද දතයුතු.

 

විශේෂ:- හේතු ප්‍ර‍ත්‍යාදිය අතුරින් යම් යම් ප්‍ර‍ත්‍යය නැතිවැ ද සිත් උපදී.

 

එහෙත් අනතුරු සිතක් නැති වැ සිත් නූපදනා හෙයින් ඒ බලවත් ප්‍ර‍ත්‍යය යැ. මෙසේ ඒ ඒ සිතට අනතුරුවැ සුදුසු සිත් ඉපදීම් වශයෙන් අනන්තර ප්‍ර‍ත්‍ය ද, බලවත් උපකාර වශයෙන් අනන්තරරොපනිශ්‍ර‍යය ද දත යුතු.

 

(3) ප්‍ර‍කෘතොපනිශ්‍ර‍ය, (ප්‍ර‍කෘත උපනිශ්‍ර‍ය = ප්‍ර‍කෘතොපනිශ්‍ර‍ය) මෙහි ප්‍ර‍කෘත නම් - තමා සතන්හි නිපදවන ලද ශ්‍ර‍ධා ශීලාදිය හෝ උපභෝග කරන ලද භෝජන - සෘතු ආදිය යි.

 

ප්‍ර‍කෘතියෙන් (ප්‍ර‍ත්‍යායාන්තර රහිත බැවින්) හෝ බලවත් උපනිශ්‍ර‍යම ප්‍ර‍කෘතොපනිශ්‍ර‍ය යි. ආරම්මණ - අනන්තරයන් හා මිශ්‍ර‍ නො වූ යේ ප්‍ර‍කෘතොපනිශ්‍ර‍ය යැ යන අර්‍ථය යි “ශ්‍ර‍ද්ධාව (මෙලොව පරලොව සැප ලැබේ. යන ඇදහීම) නිසා ශ්‍ර‍ද්ධාව උපනිශ්‍ර‍ය කොට දන්දේ; සිල් රකී; සමාපත්ති උපදවයි. සීල-ශ්‍රැත-ත්‍යාග-ප්‍ර‍ඥා නිසා දන්දේ; පෙහෙවස් රකී; ධ්‍යාන - විදර්‍ශනා -මාර්‍ග අභිඥා-සමාපත්ති උපදව යි. ශ්‍ර‍ද්‍ධා- ශීල ශ්‍රැත- ත්‍යාග-ප්‍ර‍ඥාවෝ, ශ්‍ර‍ද්‍ධා- ශීල-ශ්‍රැත-ත්‍යාග ප්‍ර‍ඥාවනට උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.”[654] යයි යනාදි ක්‍ර‍මයෙන් අනේක ප්‍ර‍කාරයන් ප්‍ර‍භේද දත යුතු මෙසේ මේ ශ්‍ර‍ද්ධාදිය ප්‍ර‍කෘතොපනිශ්‍ර‍ය නමි.

 

10. පුරෙජාත ප්‍ර‍ත්‍යය.

 

ප්‍ර‍ත්‍යයමුත්පන්නයට ප්‍ර‍ථම ඉපිද පැවතීමෙන් (වර්‍තමාන භාවයෙන්) උපකාරක ධර්‍ම පුරෙජාත ප්‍ර‍ත්‍යය යැ. මේ වූ කලි රූප ධර්‍ම වශයෙන් ම ලැබේ. ප්‍ර‍ත්‍යායොත්පන්නයෝ අරූප ධර්‍මයෝ මැයි. කලින් හටගෙන පසු වැ හටගන්නා ගස්-වැල්වලට උපකාර වන පොළොව මෙනි.

 

ඒ පුරෙජාත ප්‍ර‍ත්‍යය පඤ්චද්වාරයෙහි පඤ්ච වස්තු - පඤ්චා ලම්බන වශයෙන් ද, සියලු තන්හි හෘදය වස්තු වශයෙන් ද එකොළොස් වැදෑරුම් වේ.

 

මේභේද; (1) වස්තුපුරෙජාතය (2) ආලම්බන පුරෙ ජාතය යි දෙවැදෑරුම් වේ. ඒ සියල්ල නිෂ්පන්න රූප මැ යි.

 

“චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණධාතුා තං සම්පයුත්තකානං ච ධම්මානං පුරෙජාත පච්චයෙන පච්චයො. සොතා- යතනං - ඝාණ - ජිව්හා- කායායතනං රූප -සද්ද - ගන්‍ධ-රස ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. රූප සද්ද - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බායතනං මනොධාතුයා, තං සම්පයුත්තකානං ච ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. යං රූපං නිස්සාය මනො ධාතු ච මනො විඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනො ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. මනො විඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං කිඤ්චි කාලෙ පුරෙජාත පච්චයෙන පච්චයො. කඤ්චිකාලෙ න පුරෙජාත පච්චයෙන පච්චයො1

 

‘පළමු උපන් චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණ ධාතුවට ද, තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ද වස්තු පුරෙජාත ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. (සොත-කායායතන ද, රූප-ඵොට්ඨබ්බායතන ද මෙසේ මැ යි) රූප-ඵොට්ඨබ්බායතන මනෝ ධාතුවට ද, තත් සම්ප්‍ර‍යුක්තයනට ද පුරෙජාත ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. යම් (හෘදයවස්තු) රූපයක් නිසා මනෝධාතු - මනෝවිඤ්ඤාණ ධාතු පවතී ද; ඒ (හෘදයවස්තු) රූපය මනෝ ධාතු - මනො විඤ්ඤාණධාතුන්ට හා තත් සම්ප්‍ර‍යුක්තයනට ප්‍ර‍වෘත්ති කාලයෙහි පුරෙජාත ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්‍ධි කාලයෙහි පුරෙජාත ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය නොවේ. මෙද වස්තු පුරෙජාතයි.

 

රූපායතනාදී පස චක්ඛු විඤ්ඤාණාදියට හා තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ආලම්බන පුරෙජාත ප්‍ර‍ත්‍ය වේ.

 

විශේෂ:- චක්‍ෂුරාදි වස්තුන් ගේ හා රූපාදි ආලම්බනයන් ගේ ගැටීමෙන් චක්‍ෂුර්විඥානාදිය උපදී. එසේ වනුයේ ඒවා කලින් ඉපිද ඒතාක් පැවැති නිසා යැ. එසේ ඔවුන් ගේ කලින් ඉපිද පැවැත්ම ම පුරෙජාත ප්‍ර‍ත්‍යය බව යැ.

 

11. පශ්චාජ්ජාතප්‍ර‍ත්‍යය.

 

පළමු උපන් රූප ධර්‍මයනට උපස්තම්භක වීමෙන් උපකාර වන්නා වූ අරූප ධර්‍මයෝ පශ්චාජ්ජාතප්‍ර‍ත්‍යයෝ යි. ගිජුළිහිණි පැටවුන් ගේ ශරීරවලට පසු වැ ඇතිවන ආහාර ආසා චේතනාව මෙනි. “මින් මනොසඤ්චේතනාභාර වශයෙන් පවත්නා අරූප ධර්‍මයන්ගෙන් රූප කායයට උපස්තම්භක බව දැක්වී” (මේ ටීකා වචන යි.)

 

පච්ඡාජාතා චිත්ත චෙතසිකා ධම්මා පුරෙජාතස්ස ඉසම්ම කායස්ස පච්ඡාජාත පච්චයෙන පච්චයො[655] පසුවැ උපන් චිත්ත චෛතසික ධර්‍ම පළමු උපන් මේ රූප කායයට පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. (රූප ධර්‍ම හා ආරුප්ප විපාක සතර ද හැර සෙසු චිත්ත චෛතසික ධර්‍මයෝ පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය යි.)

 

12. ආසෙවන ප්‍ර‍ත්‍යය

 

කුසලාදිභාවයෙන් තම හට අනතුරුවැ උපදනා ස්වජාතීය ධර්‍මයනට තමාගේ ස්වභාවය ගෙන පුරුදුව බලවත් වීමට උපකාරක ධර්‍ම ආසේවන ප්‍ර‍ත්‍යය යැ. උද්ග්‍ර‍හණ කළ ග්‍ර‍න්‍ථාදීන් ගේ ධර්‍ම ආසේව ප්‍ර‍ත්‍යය යැ. ප්‍ර‍ථම ප්‍ර‍ථම උද්ග්‍ර‍හණ ශ්‍ර‍වණ ධාරණාදිය මෙනි. එය කුසල ජවන, අකුසල ජවන, ක්‍රියා ජවන යයි ත්‍රිවිධ වේ. (කුසල, අකුසල, ක්‍රියා ජවනයෝ ස්වජාතීය ජවනයන්ට ආසේවන ප්‍ර‍ත්‍යය වේ. විපාකයන් ගේ නිරුත්සාහය ශාන්ත භාවයෙන් ආසේවන ප්‍ර‍ත්‍යය නොවේ.)

 

“පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං ආසෙවන පච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අකුසලා -පෙ- පුරිමා පුරිමා ක්‍රියාබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං ක්‍රියාබ්‍යාකතානං ධම්මානං ආසෙවන පච්චයෙන පච්චයො[656]

 

‘අනන්තරාතීත පළමු - පළමු කුසල වන ජවන පසුවැ - පසුවැ උදපදනා කුසල ජවනයනට ආසේවන ප්‍ර‍ත්‍යය වේ. පළමු පළමු අකුසල් -පෙ- පළමු - පළමු උදපනා ක්‍රියා ජවන පසුවැ-පසුවැ උපදනා ක්‍රියා ජවනයට ආසෙවන ප්‍ර‍ත්‍යය වේ.’

 

විශේෂ:- සමාන ජාතික වූ ම පූර්‍ව - පූර්‍ව ජවන පසුවැ-පසුවැ උපදනා ජවනයට පරිභාවිත වාසනා වශයෙන් ආසෙවන ප්‍ර‍ත්‍යය වේ.

 

13. කර්‍ම ප්‍ර‍ත්‍යය

 

සිත මෙහෙයවීම් සඞ්ඛ්‍යාත ක්‍රියා (ආයූහන) භාවයෙන් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට උපකාර වූ චේතනාව කර්‍ම ප්‍ර‍ත්‍යය යැ.

 

විස්තර :- කාය විඥප්ති - වාක් විඥප්ති කාය-වාක් ප්‍ර‍යෝග යන් හඟවන්නා සේ චේතනාව ද (ආයූහන) පිළියෙල කිරීම් වශයෙන් සිත මෙහෙයවා එයින් ඒ චේතනාව උපන් ක්‍රියා භාවයෙන් විශිෂ්ට වූ සන්තානයෙහි සෙසු ප්‍ර‍ත්‍යය සමාගමයෙහි පවත්නා වූ විපාකයන්ට හා කර්‍මසමුත්‍ථාන රූපයන්ට ද ඒ සන්තානය විශේෂ වූ ක්‍රියා භාවයෙන් උපකාර වේ. ඒ ක්‍රියා භාවයා ගේ ප්‍ර‍වෘත්ති හෙයින් විපාකයන් ගේ හා කර්‍මසමුත්‍ථාන රූපයන්ගේ ප්‍ර‍වෘත්තිය අනිත් පරිද්දෙකින් නො වේ. සහජාත යනට ක්‍රියා භාවයෙන් උපකාර වේය යනු කියනුම කිම! (කායාඞ්ග- වාචාඞ්ග- චිත්තාඞ්ගයන් මෙහෙයවන්නාක් මෙන් පවත්නා චිත්ත ප්‍රයෝගය වූ චේතනාව කර්‍ම ප්‍ර‍ත්‍යයයි.)

 

ප්‍රභෙද. එය

 

(1) නානාක්‍ෂණික කර්‍ම ප්‍ර‍ත්‍යය.

(2) සමජාත කර්‍ම ප්‍ර‍ත්‍යය ද්විවිධ යැ

 

(1) “කුසලාකුසලං කම්ම විපාකානං ඛන්‍ධානං කටත්තා ච රූපානං කම්මප්පච්චයෙන පච්චයො.

(2) (සහජාතා) චෙතනා සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං කම්මප්පච්චයෙන පච්චයො[657]

 

(1) කුශලාකුශල (චේතනා) කර්‍මය, විපාකස්කන්‍ධයන්ට හා තත් සමුත්‍ථාන රූපයන්ට කර්‍මප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වේ. (මේ නානාක්‍ෂණික කර්‍මප්‍ර‍ත්‍යයයි.)

(2) සහජාත චේතනාව තත් සම්ප්‍ර‍යුක්තයනට හා තත් සමුත්‍ථාන රූපයනට කර්‍මප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වේ. (මේ සහජාත කර්‍මප්‍ර‍ත්‍යයයි.)

 

නිදර්‍ශන:- කලින් සකස් කළ සාලි බීජය මතු අඞ්කුරොත්පාදනයට උපකාර වන්නාක් මෙනි. (තමා පැවැති අවස්ථාවෙන් පසුවැ රූපා‘රූප ධර්‍මයන් උපදවන චේතනාව නානාක්‍ෂණික කර්‍මප්‍ර‍ත්‍යය යැ. තමා උපදනා කෙණෙහි ම රූපා‘රූප ධර්‍මයන් උපදවන චේතනාව සහජාත කර්‍මප්‍ර‍ත්‍යය යි.

 

14. විපාක ප්‍ර‍ත්‍යය.

 

නිරුත්සාහ ශාන්ත භාවයෙන් එබඳු වූ ම සන්සුන් බවට උපකාර වන්නා වූ ධර්‍ම සමූහය විපාක ප්‍ර‍ත්‍යය යැ.

 

විශේෂ:- චිත්ත චෛතසිකයන් ගේ ශාන්ත භාවය ක්ලේශ ප්‍ර‍හාණයෙන් ද, වේග මන්‍ද භාවයෙන් ද වේ. ධ්‍යාන ලාභීන් ගේ හා ආර්‍ය්‍යයන්ගේ සිත් ක්ලේශ ප්‍ර‍හාණයෙන් ශාන්ත වේ. විපාක චිත්තයන් ගේ ශාන්ත භාවය වේග මන්‍දභාවෙයන් වේ. ‘නිරුත්සාහක ශාන්ත භාවයෙනැ’ යි කීයේ එහෙයිනි.

 

තවද:- ඒ විපාක ප්‍ර‍ත්‍යය ප්‍ර‍වෘත්ති කාලයෙහි විපාක චිත්තයෙන් උපදනා රූපයන්ට ද, ප්‍ර‍තිසන්‍ධියෙහි කර්‍මජ රූපයන්ට ද, ප්‍ර‍තිසන්‍ධි -ප්‍ර‍වෘත්ති දෙකෙහිම තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට ද ප්‍ර‍ත්‍යය වේ.

 

විපාකාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං චිත්තසමුඨානානං ච රූපානං විපාකපච්චයෙනපච්චයො -පෙ- පටිසන්‍ධික්ඛණෙ විපාකාඛ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං කටත්තා ච රූපාවං, තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස ද්‍වෙ ඛන්‍ධා ද්‍වින්තං ඛන්‍ධානං කටත්තා ච රූපානං විපාක පච්චයෛන පච්චයො. ඛන්‍ධා වත්‍ථුස්ස විපාකපච්චයෙන පච්චයො[658]

 

‘විපාක අව්‍යාකෘත වූ කඑම නාම ස්කන්‍ධයෙක් සහජාත වූ නාම ස්කන්‍ධ තුනට ද, විපාක චිත්තයෙන් හටගත් රූපයන්ට ද, විපාක ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වේ. -පෙ- ප්‍ර‍තිසන්‍ධි ක්‍ෂණයෙහි විපාක අව්‍යාකෘත වූ එක් නාම ස්කන්‍ධයෙන් සහජාත තුන් නාම ස්කන්‍ධයනට හා ප්‍ර‍තිසන්‍ධි කර්‍මජ රූපයනට ද, තුන් නාම ස්කන්‍ධ එක් නාමස්කන්‍ධයකට ද නාමස්කන්‍ධ දෙකක් නාම ස්කන්‍ධ දෙකකට ද, කර්‍මජ රූපයනට ද, විපාක ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. පඤ්චවොකාර භවයෙහි ප්‍ර‍තිසන්‍ධි නාම ස්කන්‍ධ හෘදය වස්තු රූපයට ද විපාක ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වේ.

 

15. ආහාර ප්‍ර‍ත්‍යය

 

රූප-අරූප ධර්‍මයනට උපස්තම්භක භාවයෙන් (රුකුල් දීමෙන්) උපකාරක කබලීකාරය, ඵස්සය, මනොසඤ්චේතනාය, විඤ්ඤාණය යන සතර ආහාර ප්‍ර‍ත්‍යය යැ (රූප - අරූප වශයෙන් ආහාර දෙකොටසෙකි.)

 

විශේෂ:- ජනකත්‍වය ඇත ද අරූපාහාරයන්ගේ ද, ආහාරජ රූප සමුට්ඨාපක රූපාහාරයන්ගේ ද, උපස්තම්භකත්‍වය වේ. ජනකත්‍වය නැති කල්හි දු චතුසමුට්ඨානික රූපොපස්තම්භක රූපයාගේද, උපස්තම්භකත්‍වය වේ. එහෙත් උපස්තම්භකත්වය නැති කල්හි ආරයන් ගේ ජනකත්‍වය නැත්නුයි උපස්තම්භකත්‍වය ප්‍ර‍ධානයි.

 

තවද:- ‘ආහාර ද උපදනේ ම අවිච්ඡේද විසින් උපස්තම්භනය කෙරෙමින් ම උපදීනුයි’ උපස්තම්භක බවම ආහාර බවම යැයි උපස්තම්භක අර්‍ථයෙන් යැයි කීහු.

 

කබලීකාරො ආහාරො ඉමස්ස කායස්ස ආහාරපච්චයෙන පච්චයො. අරූපිනො ආහාර සම්පයුත්තකානං ධම්මානං තං සමුඨානානඤ්ච රූපානං ආහාරපච්චයෙන පච්චයො[659] කබලිඞ්කාරාහාර සඞ්ඛ්‍යාත (ඕජාව) රූපාහාරය මෙම කයට ආහාර ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. අරූපි ආහාර තත් සම්ප්‍ර‍යුක්ත අරූපි ධර්‍මයනට ද එයින් උපදනා (චිත්තජ) රූපයනට ද, ආහාර ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.’

 

විශේෂ:- “පටිසන්‍ධික්ඛණෙ විපාකාඛ්‍යාකතා ආහාරා තං සම්පයුත්තකානං ඛන්‍ධාං කටත්තා ච රූපානං ආහාර පච්චයෙන පච්චයො1 ප්‍ර‍තිසන්‍ධික්‍ෂණයෙහි විපාක-අඛ්‍යාකත ආහාර (අරූපි ආහාර) සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට ද, තමන් හා උපදනා කර්‍මජ රූපයන්ට ද, ආහාර ප්‍ර‍ත්‍යය වේ. මෙහි රූපාහාරය රූප ධර්‍මයන්ට ද ආහාර ප්‍ර‍ත්‍යය වේ. එය ද චිත්ත සමුඨාන රූපයනට පමණක් නොව ඇතැම් කලෙක කර්‍මජ රූපයනට ද ප්‍ර‍ත්‍යය යන බව ප්‍ර‍ශ්න වාරයෙහි වදාළහ.

 

හැල් බීජයෙන් නැගෙන අංකුරය පෘථිවි -අප්-රසාදිය ලැබීමෙන් වැඩෙන්නා සේ කර්‍මයෙන් උපදනා රූපයෝ සෘතු - ආහර ප්‍ර‍ත්‍යය ලැබී පවත්නෝ (වැඩෙන්නෝ) වෙති.

 

විස්තර:- (කබලීකාරාහාරය) තමා පිහිටි රූප කලාපයෙහි අන්‍ය රූපයන්ට ද, අන්‍ය රූප කලාපයන්ට ද ප්‍ර‍ත්‍යය වන චතුසමුට්ඨානික ඕජාව වූ කබලිඞ්කාරාහාරය චතුසමුට්ඨානික රූප පුඤ්ජය වූ මේ කයට උපස්තම්භක වීම් වශයෙන් අවිච්ඡින්න ප්‍ර‍වෘත්තියට උපකාර වේ. ඵස්ස-මනොසඤ්චෙතනා-විඤ්ඤාණ යන රූපාහාර තුන එකුන් අනූ (89) චිත්තය. දෙපනස් (52) චෛතසිකය යන සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට හා චිත්තජ රූපය, ප්‍ර‍තිසන්‍ධිකර්‍මජ රූපය යන මොවුන්ට ආහාර ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වේ.

 

විශේෂ:- මෙහි කබලිඞ්කාරාහාරය නමින් බාහිර ඕජවා හා චතුසමුට්ඨානික ඕජාවම ගැනේ. එහෙත් කැබෙලිකොට අනුභව කළ ආහාරය ම ආහාර ප්‍ර‍තයය වීමට සමර්‍ථ වේ. බාහිර ඕජාව එයට සමර්‍ථ නො වේ. එහෙයින් මෙහි ආහාරය යි නො කියා විශේෂයෙන් කබලිඞ්කාරාහාරය යි වදාළහ.

 

රූපාහාරයෙහි ජනක- උපස්තම්භක යන ශක්ති දෙක ම ඇත්තේ යැ. බාහිර ඕජාව ආහාරජ රූපයනට ජනක ප්‍ර‍ත්‍යය වේ. එය කර්‍මජ-චිත්තජ-සෘතුජ රූපයනට උපස්තම්භක වේ. ඒ ත්‍රිජ රූපයන්හි ඕජාව චතුසමුඨානික රූපයනට උපස්තම්භක වේ. නොහොත් එක් කලාපයෙකැ ඕජාවට ඒ කලාපයේ රූපයන්ට ජනක ප්‍ර‍ත්‍යය වේ. අන්‍ය රූප කලාපයන්ට උපස්තම්භක ප්‍ර‍ත්‍යය වේ.

 

16. ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යය

 

අධිපති අර්‍ථයෙන් උපකාර වන්නා වූ ධර්‍මයෝ ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යයයෝ යි.

 

ඒ මෙසේයි:- තමා හා සම්බන්ධ ධර්‍මයන් තම තමා අයත් කෘත්‍ය්‍යන්හි තම තමා අයත් ස්වභාවය නො ඉක්ම තමහට අනුකූල කරවීම් වශයෙන් ඊශ්වරත්‍වය පැවැත්වීම යැ යි මෙහි ස්වභාවය. ස්ත්‍රී-පුරුෂ ඉන්‍ද්‍රිය දෙක හැර සෙසු විසි ඉන්‍ද්‍රියෝ ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යයෝ යි.

 

චක්ඛුන්‍ද්‍රියං චක්ඛුවිඤ්ඤාණධාතුයා -පෙ- සොත- ඝාණ-ජිව්හා-කායින්‍ද්‍රියං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානඤ්ච ධම්මානං - ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො. රූපජාවිතින්‍ද්‍රියං කටත්තාරූපානං ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො. අරූපිනො ඉන්‍ද්‍රියා සම්පයුත්තකානං ච ධම්මානං තං සමුට්ඨා- නානං ච රූපානං ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො[660] චක්‍ෂුරින්‍ද්‍රිය චක්‍ෂුර්විඥාන ධාතුවට හා තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ද ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍ය වේ. පෙ - රූප ජීවිතින්‍ද්‍රිය කර්‍මජ රූපයනට ද ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. සෙසු අරූප ඉන්‍ද්‍රියයෝ සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට හා තත් සමුත්‍ථාන රූපයනට ද ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.’

 

ප්‍රශ්නවාරයෙහි:- “පටිසන්‍ධික්ඛණෙ විපාකාඛ්‍යාකතා ඉන්‍ද්‍රියා තං සම්පයුත්තකානං ඛන්‍ධානං කටත්තා ච රූපානං ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො[661] යි ‘ප්‍ර‍තිසන්‍ධි ක්‍ෂණයෙහි විපාක අව්‍යාකෘත ඉන්‍ද්‍රිය ඒ හා සම්ප්‍ර‍යුක්ත ස්කන්‍ධයනට ද, කර්‍මජ රූපයනට ද ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වෙති’ යි වදාරන ලදී.

 

විස්තර:- අධිපති ප්‍ර‍ත්‍යය නම් සෙසු ධර්‍මයන් ගේ ප්‍ර‍වෘත්තිය වළකා තමහට අවනත කරගැනීම් වශයෙන් බල පැවැත්මේ ශක්ති විශේෂයෙකි. ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යය නම් දර්‍ශනාදි කෘත්‍යයෙහි චක්‍ෂුර්විඥානාදිය ද, ජාවනායෙහි කර්‍මජ රූපයන් ද, සෙසු නාම ඉන්‍ද්‍රිය ධර්‍මයන් තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් හා එයින් උපදනා රූප විෂයෙහි ඒ ඒ කෘත්‍යයෙහි ද, චක්‍ෂුඃප්‍ර‍සාදාදියට අනුවර්‍තක වීම් වශයෙන් (අනුවැ) පැවැත්ම යි.

 

චක්‍ෂුරින්‍ද්‍රියාදි පඤ්චප්‍ර‍සාද ද, ජීවිත රූපය ද, නමා ජීවිතෙන්‍ද්‍රිය ද, සුඛ වේදනාදී පඤ්ච වේදනා ඉන්‍ද්‍රිය ද, ශ්‍ර‍ද්ධාදි අෂ්ට නාම ඉන්‍ද්‍රිය ද, චක්‍ෂුර්විඥානය හා තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍ම ද, කර්‍මජ රූපද, සම්ප්‍ර‍යුක්ත ධර්‍ම ද, තත් සමුත්‍ථාන රූප ද, තමහට අනුවැ පැවැත්වීමෙන් ඒ ඒ කෘත්‍යයන්හි යෙදෙන සේ ඊශ්වරත්‍වය පැවැත්ම ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යය ස්වභාවය යි.

 

රටවැසියාගේ තම තමා අයත් කෘත්‍යයෙහි යෙදීමට රජු ගේ ඊශ්වරිත්‍වය උපකාර වන්නාක් මෙනි.

 

විශේෂ:- ස්ත්‍රී පුරුෂ භාව රූපද්වයය කර්‍මාදි අන්‍ය ප්‍ර‍ත්‍යයෙන් උපදනා රූපයන්ට තම ස්වරූපය ද වූ ස්ත්‍රීභාවය පුරුෂභාව ගන්වන හෙයින් ඉන්‍ද්‍රිය වෙනත් සෙසු ප්‍ර‍ත්‍යයන් සේ ජනකත්‍වයෙන් හෝ උපස්තම්භකත්‍වයෙන් හෝ අනුපාලකත්‍වයෙන් හෝ නොපවතින හෙයින් ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යය නොවේ.

 

(ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යයෝ තමා හා බැඳී සිටින රූප-අරූප ධර්‍මයනට සැම අවස්ථාවන්හිම අනුපාලකත්‍වයෙන් උපකාර වෙති.)

 

17. ධ්‍යාන ප්‍ර‍ත්‍යය.

 

ලක්‍ෂණ - ආලම්බන වශයෙන් උපනිද්ධ්‍යායන (අරමුණු බැලීම්) අර්‍ථයෙන් උපකාරක වූ ද්විපඤ්චවිඥානයෙහි සුඛ - දුඃඛ - වේදනා ද්වය හැර සෙසු කුසලාදීභෙද වූ සිත්හි පවත්නා විතර්‍ක-විචාර-පීති-ඒකාග්‍ර‍තා-සෞමනස්‍ය-දෞර්‍මනස්‍ය-උපෙක්‍ෂා යන සත් ධ්‍යානාඞ්ග ධ්‍යාන ප්‍ර‍ත්‍යය යැ.

 

විශේෂ :- ද්විපඤ්චවිඤ්ඤාණයෙහි වූ උපෙක්ඛා-එකග්ගතා ධ්‍යානාඞ්ග නොවේ.

 

ඣානඞ්ගාතිඣානසම්පයුත්තකානං ච ධම්මානං තං සමුඨා නානං ච රූපානං ඣානපච්චයෙන පච්චයො[662] විතර්‍කාදි ධ්‍යානාඞ්ග ඒ හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට හා තත් සමුත්‍ථාන රූපයනට ධ්‍යාන ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ’ යැ යි වදාළහ.

 

විස්තර:- තමා හා සම්ප්‍ර‍යුක්ත චිත්ත-චෛතසික ධර්‍මයන් හා කර්‍මජ රූපයන් අනිත්‍යාදි ලක්‍ෂණයෙහි හා කසිණාදි ආලම්බනයෙහි මනාවැ නැංවීම ය, පිරිමැදීම ය, පිණවීම ය, වැඩීමය, මනා වැ පිහිටුවීම ය යන මොවුන් ගේ වශයෙන් පවත්නා විතර්‍කාදි ධර්‍ම හා සොමනස්ස-දොමනස්ස-උපෙක්ඛා වේදනා ද ධ්‍යාන ප්‍ර‍ත්‍යය යි. අරමුණු පිරිමැදීම් වශයෙන් ද පච්චනීක ධර්‍ම දැවීම් වශයෙන් ද මහග්ගත ලොකුත්තර සිත්හි යෙදේ.

 

ප්‍ර‍ශ්න වාරයෙහි:- “පටිසන්‍ධික්ඛණෙ විපාකාඛ්‍යාකතාහි ඣානඞ්ගානි සම්පයුත්තකානං ඛන්‍ධානං කටත්තානඤ්චරූපානං ඣානපච්චයෙන පච්චයො[663] ප්‍ර‍තිසන්‍ධි ක්‍ෂණයෙහි ප්‍ර‍තිසන්‍ධි සිත් එකුන්විස්ස (19) ය, චෛතසික පන්තිස (35) ය, යන මොවුන් හා සම්ප්‍ර‍යුක්ත වූ විතර්‍කාදි පස සම්ප්‍ර‍යුක්ත ස්කන්‍ධයනට හා කර්‍මජ රූපයනට ධ්‍යාන ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ යැයි ද වදාරන ලදී.

 

18. මාර්‍ග ප්‍ර‍ත්‍යය

 

කුශල පක්‍ෂයෙන් හෝ අකුශල පක්‍ෂයෙන් හෝ තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් සුගති - දුගති - නිර්‍වාණයන්ට අභිමුඛ කිරෟීම් වශයෙන් උපකාර වන්නා වූ ධර්‍ම මාර්‍ග ප්‍ර‍ත්‍යය යි.

 

ඔහු සම්මාදිට්ඨි ආදී අට හා මිච්ඡාදිට්ඨි ආදී සතර දැ යි දොළොසෙකි. (12) “මග්ගඞ්ගානි මග්ගසම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානාං ච රූපානං මග්ගපච්චයෙන පච්චයො[664]

 

‘එකී මාර්‍ගඞ්ග මාර්‍ගසම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට හා තත් සමුත්‍ථාන රූපයනට ද මාර්‍ග ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ’ යැ යි එයින් වදාළහ.

 

මෙහි මාර්‍ග සම්ප්‍ර‍යුක්ත ධර්‍ම නම් සහේතුක සිත් එක් සැත්තෑව (71) ය, චෛතසික දෙපනසය (52) යන මොහු ය, තත් සමුත්‍ථාන රූප නම් එම මාර්‍ගඞ්ග සම්ප්‍ර‍යුක්ත සහේතුක චිත්තජ රූපය, සහේතුක ප්‍ර‍තිසන්‍ධි කර්‍මජ රූපය යන මොහු ය.

 

මාර්‍ගාඞ්ග නම්:- පඤ්ඤා - විතක්ක - විරතිත්තය - විරිය - සති - එකග්ගතා - දිට්ඨි යන චෛතසික නවය යි.

ප්‍ර‍ශ්න වාරයෙහි:- “පටිසන්‍ධික්ඛණෙ විපාකාභ්‍යාකතානි මග්ගඞ්ගානි තං සම්පයුත්තකානං ඛන්‍ධානං කටත්තානාං ච රූපානං මග්ගපච්චයෙන පච්චයො[665]

‘ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි විපාක අව්‍යාකෘත වූ මාර්‍ගාඞ්ග සම්පයුක්ත ස්කන්‍ධයට හා කර්‍මජ රූපයනට මාර්‍ග ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.’

 

විශේෂ:- ප්‍ර‍ත්‍යය වාරයෙහි කී “තිං සමුට්ඨානානං රූපානං” යන්නෙන් ම කටත්තා රූපානං යන්නෙන් කී අර්‍ථය දක්වන ලදී. එහෙත් මෙහි ස්වරූපයෙන් ගැනීම සඳහා කියන ලදී. පෙර කී ධ්‍යාන ප්‍ර‍ත්‍යය හා මේ මාර්‍ග ප්‍ර‍ත්‍යය දෙපස් (10) විඤ්ඤාණයෙහි හා අහේතුක චිත්තයෙන්හි නො ලැබේය යි දත යුතු.

 

19. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය.

 

සමවැ හෝ එක්වැ හෝ ඒකවස්තුක - ඒකාලම්බන - ඒකොත්පාද - ඒකනිරෝධ යන සම්ප්‍ර‍යුක්ත භාවයෙන් උපකාරක ධර්‍මයෝ සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යයෝ යි.

 

චත්තාරෝ ඛන්‍ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං සම්පයුත්ත පච්චයෙන පච්චයො[666]

 

‘අරූපී සතර නාම ස්කන්‍ධ ඔවුනොවුන්ට සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.’

 

විස්තර:- පෙර කී ඒකවස්තුකාදී ලක්‍ෂණ සතරින් ම යුක්ත වන නාම ස්කන්‍ධයේ (චිත්ත - චෛතසික) අරූප ධර්මයේ මැයි. එහෙයින් එකවර උපදන චිත්ත-චෛතසික ධර්‍මයෝ තමන් උපදනා චිත්ත-චෛතසික ධර්‍මයෝ තමන් තමන් අන්‍යයන් හා සම්ප්‍ර‍යුක්ත වීම් හා අන්‍යයන්ගේ සම්ප්‍ර‍යුක්ත බව තමන් ලැබීම ද ඇති හෙයින් ඔවුනොවුන්ට සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය ද, සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යයෝත්පන්න ද වෙති.

 

20. විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය.

පෙර කී ඒකවස්තුකාදී බවට නො පැමිණීමෙන් රූපී ධර්‍මයනට උපකාර නොවන අරූපී ධර්‍ම ද, අරූපීනට උපකාර නොවන රූපී ධර්‍ම ද විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යයෝ යි. මේ වෙන් වෙන් වැ පැවැත්ම යැ.

 

ඒ විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය ය. (1) සහජාත (2) පච්ඡාජාත (3) පුරෙජාත වශයෙන් ත්‍රිවිධ ය.

 

(1) “සහජාතා කුසලා ඛන්‍ධා චිත්තසමුට්ඨානානං රූපානං විප්පයුත්තපච්චයෙන පච්චයො[667] එකවට උපදනා කුශලස්කන්‍ධ චිත්තසමුත්‍ථාන රූපයනට විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය වේ.

 

(2) “පච්ඡාජාතා කුසලා ඛන්‍ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විප්පයුත්ත පච්චයෙන පච්චයො”2 පසුවැ උපන් කුසල ස්කන්‍ධ පළමු උපන් මේ කයට විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.

විස්තර:- කුසල් සිත් එක්විස්ස (21) ද, අකුසල සිත් දොළොස (12) ද, ඔවුන් හා සම්ප්‍ර‍යුක්ත චෛතසික ද ඒ හා උපදනා රූපයනට සහජාත විප්‍ර‍යුක්ත වේ.

 

පසුවැ උපදනා වේදනාදී කුසල ස්කන්‍ධ පඤ්චවොකාර භවයෙහි කර්‍මාදි ප්‍ර‍ත්‍යයෙන් උපදනා මේ රූප කායයට පශ්චාජ්ජාත විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

විශේෂ:- නිර්‍වාණය අරූප ධර්‍මයනයට ප්‍ර‍ත්‍යය නොවන්නා සේම රූප ධර්‍මයනට ද විප්‍ර‍යුක්ති ප්‍ර‍ත්‍යය නො වේ.

 

තවද සහජාත විප්‍ර‍යුක්ත විභාගයෙහි “පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතා ඛන්‍ධා කටත්තා රූපානං විප්පයුත්ත පච්චයෙන පච්චයො” ‘ප්‍ර‍තිසන්‍ධි ක්‍ෂණයෙහි විපාක අව්‍යාකෘත ස්කන්‍ධ කර්‍මජ රූපයනට විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය වේ.’ ස්කන්‍ධ වස්තුවට ද, වස්තු ස්කන්‍ධයනට ද, විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ ය යි වදාරන ලදී.

 

(3) පුරෙජාන විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය චක්‍ෂුරින්‍ද්‍රියාදි වස්තු වශයෙන් ම දත යුතුයි.

 

ඒ මෙසේ යි:- “පුරෙජාතං චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණස්ස -පෙ- කායායතනං කායවිඤ්ඤාණස්ස විප්පයුත්තපච්චයෙන පච්චයො. වත්‍ථු විපාකාබ්‍යාකතානං ක්‍රියාබ්‍යාකතානං ඛන්‍ධානං -පෙ- වත්‍ථු කුසලානං ඛන්‍ධානං වත්‍ථු අකුසලානං ඛන්‍ධානං විප්පයුත්ත පච්චයෙන පච්චයො[668] පළමු උපන් චක්ඛායතනය චක්‍ෂුවිඥානයට ද -පෙ- කායායතනය කායවිඥානයට ද, පුරෙජාත විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ. හෘදය වස්තුව විපාක අව්‍යාකෘත ස්කන්‍ධයනට ද, හෘදය වස්තුව කුශල ස්කන්‍ධයනට ද, හෘදය වස්තුව අකුශල ස්කන්‍ධයනට ද විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ. මේ පුරෙජාත විප්‍ර‍යුක්ත ය.

 

21. අස්ති ප්‍ර‍ත්‍යය.

 

තමාගේ අස්තිත්‍වයෙන් (පැවැත්මෙන්) පවත්නා වූ ම ධර්‍මයනට උපස්තම්භක වීමෙන් උපකාරවන ධර්‍මය අස්ති ප්‍ර‍ත්‍යය යැ.

 

විශේෂ:- මෙහි උපස්තම්භක වීමෙනැ යි කීයේ “අත්‍ථි පාපං කම්මං කතං” “අත්‍ථ පුග්ගලෝ අත්තහිතාය පටිපන්තො”[669] යනාදියෙහි කී නිබ්බත්තිලක්ඛණ අත්‍ථි භාවය නිවාරණය සඳහා යැ. තවද ජනකත්‍වය ඇත ද උපස්තම්භකත්‍වය මෙහි අස්තිත්‍වය යි ගැනේ.

 

මෙහි අස්තිත්‍වය ද වස්තු - ආලම්බන - සහජාත - ආදීන්ට සාධාරණ වූ අස්තිත්‍වයෙන් උපකාරකත්‍වය යි දත යුතු.

 

එය අරූපස්කන්‍ධ -මහාභූත -නාමරූප -චිත්ත -චෛතසික -මහාභූත -ආයතන -වස්තුරූප වශයෙන් සත් ආකාරයකින් මාතෘකා තබන ලදී.

 

ඒ මෙසේ යි:- (1) “චත්තාරො ඛන්‍ධා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්‍ථි පච්චයෙන පච්චයො. (2) චත්තාරො මහාභූතා -පෙ- (3) ඔක්කන්තික්ඛණෙ නාමරූපං අඤ්ඤමඤ්ඤං, (4) චිත්තචෙතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපානං, (5) මහාභූතා උපාදා රූපානං, (6) චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණ ධාතුයා -පෙ- කායායතනං, රූපායතං -පෙ- ඵොට්ඨබ්බා- යතනං කායවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්‍ථි පච්චයෙන පච්චයො රූපායතනං -පෙ- ඵොට්ඨබ්බායාතනං මනොධාුයා තං සම්පයුත්තකානං ච ධම්මානං (7) යං රූපං නිස්සාය මනොධාතු ච මනො-විඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනොධාතුයා ච මනොවිඤ්ඤාණ ධාතුයා ච තං සම්පයුත්තකානං ච ධම්මානං අත්‍ථි පච්චයෙන පච්චයො[670]

 

(1) සතර අරූපස්කන්‍ධ ඔවුනොවුන්ට අස්තිප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

(2) සතරමහාභූත ඔවුනොවුන්ට ද,

(3) අවක්‍රාන්ති ක්‍ෂණයෙහි නාම රූප ඔවුනොවුන්ට ද

(4) චිත්ත-චෛතසික ධර්‍ම චිත්ත සමුත්‍ථාන රූපයන්ට ද,

(5) මහාභූත උපාදාය රූපයන්ට ද,

(6) චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණ ධාතුවට ද, -පෙ- කායායතනය, රූපායතනය, -පෙ- ඵොට්ඨබ්බායතනය කාය විඤ්ඤාණ ධාතුවට ද, තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ද, අස්ති ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. රූපායතනය -පෙ- ඵොට්ඨබ්බායතනය මනොධාතුවට ද, තත් සම්ප්‍ර‍යුක්ත ධර්මයනට ද,

(7) යම් රූපයක් නිසා මනෝධාතුව ද, මනොවිඤ්ඤාණ ධාතුව ද, පවතී නම් ඒ රූපය මනොධාතුවට ද, මනොවිඤ්ඤාණ ධාතුවට ද, තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ද අස්තිප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

මේ සත් ආකාර අස්ති ප්‍ර‍ත්‍යයන් අතුරෙන් (1) සිට (5) දක්වා සහජාත වශයෙන් ද,

 

(6) පුරෙජාත වශයෙන් ද,

(7) සහජාත-පුරෙජාත වශයෙන් ද අස්ති ප්‍ර‍ත්‍යය දක්වන ලදී.

 

මෙසේ මේ පාඨයෙහි සහජාත-පුරෙජාත වශයෙන් ම අස්ති ප්‍ර‍ත්‍යය දක්වන ලදී.

 

විශේෂ:- පච්ඡාජාත - ආහාර - ඉන්‍ද්‍රිය වශයෙනුදු අස්ති ප්‍ර‍ත්‍යය ලැබෙතුදු එය මෙහි නො වදාළහ. සාවශේෂ දේශනා හෙයිනි. එහෙත් හේතු දැක්වීම සඳහා ප්‍ර‍ශ්න වාරයෙහි වදාළ “සහජාතං, පුරෙජාතං, පච්ඡාජාතං, ආහාරං, ඉන්‍ද්‍රියං” ‘සහජාත යැ, පුරෙජාත යැ, පච්ඡාජාත යැ, ආහාර යැ, ඉන්‍ද්‍රියයැ’යි. නික්‍ෂේප කොට සහජාත විෂයෙහි “එකො ඛන්‍ධො තිණ්ණං ඛන්‍ධානං තං සමුට්ඨානානං ච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො”[671] ‘එකම විඤ්ඤාණස්කන්‍ධය වේදනාදී සෙසු නාමස්කන්‍ධ තුනට ද, එයින් නිපදනා රූපයනට ද අස්ති ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ’ යනාදීන් දේශනා කරන ලදී. පුරෙජාත අස්ති ප්‍ර‍ත්‍යයෙහි “චක්ඛායතනං චක්ඛු විඤ්ඤාණධාතුයා”[672] යනාදීන් චක්ඛායතනාදීන් ගේ වශයෙන් නිර්‍දෙශකොට දක්වන ලදී. පච්ඡාජාත අත්‍ථි පච්චයෙහි පශ්වාජ්ජාත චිත්ත-චෛතසික ධර්‍මයන් පුරෙජාත මේ කායයට පච්ඡාජාත ප්‍ර‍ත්‍යය වශයෙන් නිර්‍දෙශ කරන ලදී. ආහාර ප්‍ර‍ත්‍යයෙහි “කබලීකාරො ආහාරො ඉමස්ස කායස්ස අත්‍ථි පච්චයෙන පච්චයො” කබලීකාරාහාරය මේ ශරීරයට අස්ති ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ’ ය යි ද,

 

ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යයයෙහි “රූපජීවිතින්‍ද්‍රියං කටත්තා රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො”[673] ‘රූප ජීවිතින්‍ද්‍රිය කර්‍මජ රූපයනට අස්ති ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ’ ය යි නිර්‍දෙශ කරන ලදී.

 

විස්තර:- මේ ආහාර -ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යය දෙක ප්‍ර‍ත්‍යය වන ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍මයන් ගේ සහජාතාදි වශයෙන් භේද නැති තවද මෙය කුසල -අකුසල -විපාක -ක්‍රියා රූප වශයෙන් ද පඤ්චවිධ වේ.

 

විශේෂ:- නිර්‍වාණය අස්ති ප්‍ර‍ත්‍යය නො වේ. කාල විමුක්ත හෙයින් හා නාස්තිත්‍වයක් නො ලැබෙන හෙයිනි. අස්ති ප්‍ර‍ත්‍යය වනුයේ ප්‍ර‍ත්‍යුත්පන්න භාවය නිසාම ප්‍ර‍ත්‍යයවන ධර්‍මයයි. (ටීකාගත විස්තරය බලනු) තවද අස්ති ප්‍ර‍ත්‍යය වන ධර්‍මයන් අතුරින් නාම ධර්ම- සහජාත -පච්ඡාජාත වශයෙන් ද, රූප සහජාත - පුරෙජාත වශයෙන් ද ප්‍ර‍ත්‍යය වේ.

 

22. නාස්ති ප්‍ර‍ත්‍යය

 

තමහට අනතුරුවැ උපදනා අරූපි ධර්‍මයන් ගේ පැවැත්මට අවකාශ දීමෙන් උපකාර වන්නා වූ අනතුරු වැ නිරුද්‍ධ වූ චිත්ත-චෛතසික ධර්‍ම නාස්ති ප්‍ර‍ත්‍යය.

 

එයින් වදාළහ. “සමනන්තර නිරුද්ධා චිත්ත චෙතසිකා ධම්මා පච්චුප්පන්නානං නං චිත්ත චෙතසිකානං ධම්මානං නත්‍ථි පච්චයෙන පච්චයො”[674] ‘සමනන්තර නිරුද්ධා වූ චිත්ත-චෛතසික ධර්‍ම ප්‍ර‍ත්‍යුත්පන්න වූ චිත්ත-චෛතසිකා ධර්‍මයනට නාස්ති ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.’ (මෙහි විභාගය හා ප්‍ර‍ත්‍යය ක්‍ර‍ම ද අනන්තර ප්‍ර‍ත්‍යය සේයි.)

 

23. විගත ප්‍ර‍ත්‍යය.

 

ඒ නාස්ති ප්‍ර‍ත්‍යය වූ ධර්‍මයෝ ම පහව යෑම් වශයෙන් උපකාර වන හෙයින් විගත ප්‍ර‍ත්‍යය නම් වේ.

 

එහෙයින් ම “සමනන්තර විගතා චිත්ත චෙතසිකා ධම්මා පච්චුප්පන්නානං චිත්තචෙතසිකානං ධම්මානං විගතපච්චයෙන පච්චයො”1 යි වදාළහ. අර්‍ථ සුගමයි.

 

විශේෂ:- නාස්තිත්‍වය නම් නිරොධාසන්නයෙහි ශූන්‍ය බවයි. විගතත්‍වය නම් නිරොධප්‍ර‍ත්‍යය බවයි. (යනු සන්නයි)

 

24. අවිගත ප්‍ර‍ත්‍යය

 

අස්ති ප්‍ර‍ත්‍යය වන ධර්‍මයෝ ම අවිගත භාවයෙන් උපකාර වන හෙයින් අවිගත ප්‍ර‍ත්‍යය නම් වෙති.

 

විශේෂ:- වෛනෙයාධ්‍යාශය වශයෙන් හා දේශනා විලාශ වශයෙන් මෙසේ වදාළ බව මුත් අස්ති-අවිගත දෙක්හි වෙනසෙක් නැති. අහේතුක දුකය වදාරා හේතු විප්පයුත්ත දුකය වදාළාක් මෙනි. අස්තිත්‍ව සඞ්ඛ්‍යාත ස්වභාවයෙන් උපකාරකත්‍වය අස්ති ප්‍ර‍ත්‍යයේ ස්වභාවය යි. පහ නොවීම් සඞ්ඛ්‍යාත නිරෝධයට නො පැමිණීමෙන් උපකාරත්‍වය අවිගත ප්‍ර‍ත්‍යයයේ ස්වභාවයයි යනු (ටීකා මතයයි.)

 

අස්ති -නාස්ති ප්‍ර‍ත්‍යය දෙක වදාරා එපමණකින් තෙරුම් ගත නොහැක්කවුනට තේරුම් ගැනීමේ පහසුව සඳහා අවිගත -විගත ප්‍ර‍ත්‍යයැ යි අන් අයුරකින් වදාළහ (යනු අටුවා නය යි.)

 

ප්‍ර‍ත්‍යය විභාගය.

 

(1) මේ සූවිසි ප්‍ර‍ත්‍යයන් අතුරින් ආලම්බන - අනන්තර - සමනන්තර- උපනිශ්‍ර‍ය - පුරෙජාත - ආසෙවන - සම්ප්‍ර‍යුක්ත - නාස්ති-විගත යන ප්‍ර‍ත්‍යය නවය අරූප ධර්‍මයනට ප්‍ර‍ත්‍යය වේ.

 

පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය රූප ධර්‍මයනට ප්‍ර‍ත්‍යය වේ.

සෙසු තුදුස් (14) ප්‍ර‍ත්‍යය රූප අරූප දෙකට ම ප්‍ර‍ත්‍යය වේ.

 

(2) හේතු - අනන්තර - සමනන්තර -ආසෙවන -පච්ඡාජාත කර්‍ම විපාක ධ්‍යාන -මාර්‍ග සම්ප්‍ර‍යුක්ත -නාස්තී-විගත ප්‍ර‍ත්‍යය අරූප ධර්‍ම යැ.

 

පූර්‍වෙජාත ප්‍ර‍ත්‍යය රූප ධර්‍ම යි.

ආලම්බන උප නිශ්‍ර‍යද්‍වය ය ප්‍ර‍ඥප්තිය හා රූප ධර්‍ම යි.

සෙස්ස රූපාරූප ධර්‍ම වේ.

 

(3) අනන්තර- සමනන්තර-ආසෙවන - නත්‍ථි - විගත ප්‍ර‍ත්‍යය අතීත කාලික ය. ආලම්බනාධිපති - ආලම්බ නොපනිශ්‍ර‍ය දෙක ත්‍රෛකාලික ද කාලවිමුක්ත ද වේ.

 

කර්‍ම ප්‍ර‍ත්‍යය, අතීත-ප්‍ර‍ත්‍යුත්පන්න වශයෙන් ද්විකාලීක වේ. සෙසු පසළොස (15) ප්‍ර‍ත්‍යුත්පන්න යැ.

 

(4) අනන්තර -සමනන්තර -අනන්තරොපනිඃශ්‍ර‍ය - ප්‍ර‍කෘතොපනිඃශ්‍ර‍ය ආසෙවන -නානාක්‍ෂණික කර්‍ම -නාස්ති -විගත ප්‍ර‍ත්‍යය ද ජනක කර්ම වේ. උපස්තම්භක නොවේ.

 

පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය උපස්තම්භක වේ. ජනක නොවේ.

සෙස්සෝ ජනක ද, උපස්තම්භක ද වෙති.

 

මේ ප්‍ර‍ත්‍යය වශයෙන් විභාගය යි.

 

ප්‍ර‍ත්‍යය විනිශ්චය

 

අවිද්‍යාව, මේ සූවිසි (24) ප්‍ර‍ත්‍යයන් අතුරින් අවිද්‍යාව

(1) පුණ්‍යාභිසංස්කාරයනට දෙපරිද්දෙකින් ද

(2) අපුණ්‍යාභිසංස්කාරයනට අනේකාකාරයෙන් ද

(3) ආ නෙඤ්ජාභිසංස්කාරයනට එක් ආකාරයෙකින් ද ප්‍ර‍ත්‍යය වේ. ඒ බව්:-

 

“පච්චයො හොති පුඤ්ඤානං - දුවිධා, නෙකධාපන

පරෙසං, පච්ඡිමානං සා -එකධා පච්චයො මතා”

යන්නෙන් හෙළි වෙයි.

 

විස්තර:- (1) පුණ්‍යාභිසංස්කාරයනට ආලම්බන ප්‍ර‍ත්‍යයයෙන් ද, උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන්දැ යි දෙපරිද්දෙකින් ප්‍ර‍ත්‍යය වේ.

 

ඒ මෙසේ යි:- අවිද්‍යාව ක්‍ෂය ව්‍යය වශයෙන් සන්මර්‍ශනය කරන කල්හි කාමාවචර පුණ්‍යාභිසංස්කාරයනට ආලම්බන ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

අභිඥා චිත්තයෙන් සමොහ සිත් දැන ගන්නා කල රූපාවචර පුණ්‍යාභිසංස්කාරයනටද, ආලම්බන ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

අවිද්‍යාව ඉක්මවීම පිණිස දානාදී කාමාවචර පුණ්‍යක්‍රියා වස්තු පුරන්නට ද, උපනිශ්‍ර‍ය ප්‍රත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

අවිද්‍යාවෙන් මුළා වූ හෙයින් කාම-රූප භව සම්පත්තීන් පතා ඒ කාමාවචර-රූපාවචර පින් කරන්නහුට එසේ උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

(2) අපුණ්‍යාභිසංස්කාරයනට අනේකාකාරයෙන් ප්‍ර‍ත්‍යය වන්නේ මෙසේ යි.

 

(i)      අවිද්‍යාව අරමුණු කොට (රාග-දිට්ඨි-විචිකිච්ඡා-උද්ධච්ච දෝමනස්ස යන මොහු අවිද්‍යා සම්ප්‍ර‍යුක්තයහ) රාගාදීන් උපදනා කල්හි අවිද්‍යාව ආලම්බනප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.

(ii)    රාගාදිය ගරුකොට ආස්වාදනය කරන කල්හි ආලම්බනාධිපති - ආලම්බනොපනිශ්‍ර‍ය වශයෙන් ප්‍ර‍ත්‍ය වේ.

(iii)  අවිද්‍යාවෙන් මුළාව (ආදීනව නො දැන) ප්‍රාණවධාදිය කරන්නහුට උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන් ද, ද්විතීය ජවනාදියට අනන්තර - සමනන්තර - අනන්නතරොපනිශ්‍ර‍ය - ආසෙවන නත්‍ථි - විගත ප්‍ර‍ත්‍යයයෙන් ද,

(iv)    යම්කිසි අකුසලයක් කරන්නහුට හේතු-සහජාත-අඤ්ඤමඤ්ඤ-නිස්සය-සම්ප්‍ර‍යුත්ත-අත්‍ථි-අවිගත ප්‍ර‍ත්‍යයයෙන්දැයි මෙසේ නොයෙක් ආකාරයෙන් ප්‍ර‍ත්‍යය වේ.

(v)      ආනෙඤ්ජාභිසංස්කාරයනට, උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන් එක් ආකාරයෙකින් ප්‍ර‍ත්‍යය වේ. ඒ උපනිශ්‍ර‍ය භාවය පුණ්‍යාභිසංස්කාරයෙහි සමතික්‍ර‍ම භව ප්‍රාර්ථනා වශයෙන් කී සෙයින් දතයුතු.

 

ප්‍ර‍ශ්නයෙකි:- මේ හුදු අවිද්‍යාව සංස්කරණයනට ප්‍ර‍ත්‍යය වේ ද නැතහොත් එයට සහකාරී අන්‍ය ප්‍ර‍ත්‍යයෝත් වෙද්ද

 

හුදෙක් අවිද්‍යාවම සංස්කාරයනට ප්‍ර‍ත්‍යය වේ ය යි කීකල ඒකකාරණ වාදය වේ. (තවද අන්‍ය ප්‍ර‍ත්‍යයෝත් වෙත් නම් කුමක් හෙයින් අවිජ්ජා පච්චයා සඞ්ඛාරා යි එකම කාරණයක් නිර්‍දෙශ කිරීම යෙදේ ද)

 

පිළිතුර:- නො යෙදෙන්නේ නොවේ. කවර හෙයින් ද

 

“එකං න එකතො ඉධ - නානෙකමනෙකතොපි නො එකං

ඵලමත්‍ථි අත්‍ථිපන -එකහෙතුඵල දීපනෙ අත්‍ථො” යි

 

මෙහි එක ඵලයෙක් එක හේතුවකින් නො වේ.

 

අනේක ඵල එක හේතුවකින් නො වේ. එක ඵලයෙක් අනේක හේතුන්ගෙන් නො වේ. අනේකඵල අනේක හේතුන්ගෙන් ම වේ. එහෙත් එක හේතුවකට ඵල එකක් දැක්වීමේ ප්‍රයෝජනයෙක් ඇත්තේ ය.

 

ඒ මෙසේ යි: සෘතු-බීජ -සලිල ආදි අනේක කාරණයෙන් නොයෙක් රූප - ගන්‍ධ - රසාදි අඞ්කුර සඞ්ඛ්‍යාත අනේක ඵල උපදී. එහෙත් “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං”[675] යනාදීන් එක එක හේතු-ඵල දැක්වීමේ ප්‍රයෝජනයෙක් ඇත්.

 

විස්තර:- බුදුහු දේශනා විලාශ වශයෙන් හෝ - වෛනෙය්‍ය පුද්ගලාධ්‍යාශය වශයෙන් හෝ (ඒ දෙකින් ම හෝ)

 

(1) කිසි තැනෙක ප්‍ර‍ධාන බැවින්ද,

(2) කිසි තැනෙක ප්‍ර‍කට බැවින් ද,

(3) කිසි තැනෙක අසාධාරණ බැවින් ද, එකම හේතුවක් හෝ ඵලයක් හෝ වදාරති.

 

(1) නිදර්‍ශන:- “ඵස්සපච්චයා වේදනා” යන තන්හි ප්‍ර‍ධාන හෙයින් එකම හේතුවක් හා ඵලයක් වදාරති.

 

ඒ මෙ සේ යි:- ස්පර්‍ශයට නිසි වේදනාව නියම කරන හෙයින් ඵස්සය වේදනාවේ ප්‍රධාන හේතු ව ය. එසේම වේදනා ස්පර්‍ශයෙන් නියම කරන හෙයින් වේදනාව ස්පර්‍ශයේ ප්‍ර‍ධාන ඵලය යැ.

 

“සුඛ වෙනියං හි (භික්ඛවේ) ඵස්සං පටිච්ච උප්පජ්ජතිසුඛා වේදනා”[676] ‘සුඛවේදනීය ස්පර්‍ශය නිසා සුඛවේදනා උපදී’ යනු පූර්‍වපක්‍ෂයට නිදර්‍ශන යැ.

 

“චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං තිණ්ණං සංගතිඵස්සො ඵස්ස පච්චයා වෙදනා”1 ‘චක්‍ෂු: ප්‍ර‍සාධරූපාලම්බනයන් නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. ඒ චක්ඛුප්පසාද රූපාලම්බන- චක්ඛුවිඤ්ඤාණ තුන නිසා ඵස්සය වේ. ස්පර්‍ශ ප්‍ර‍ත්‍යයෙන් වේදනා වේ. මෙසේ අන්‍ය ප්‍ර‍ත්‍යය සාමාන්‍යයෙනුදු ස්පර්‍ශ ප්‍ර‍ත්‍යයෙන් වේදනා සනිටුහන් වන හෙයින් ද ද්විතීය පක්‍ෂයට නිදර්‍ශන වේ. (මෙසේ කාරණ -ඵලවිශේෂයෙන් හෝ ඵල - කාරණ විශේෂයෙන් හෝ නිශ්චය වේය යි කියන ලදි.)

 

(2) “සෙමහසමුට්ඨානා ආබාධා” යන තන්හි ප්‍ර‍කට බැවින් එකමහේතුව දැක්වී.

 

විස්තර :- ව්‍යාධිය කර්‍මය නැතිවැ නො වෙතත් කර්‍ම ආහාර-සෘතු ආදි අප්‍ර‍කට හේතු හෙයින් සෙමට ප්‍ර‍තිකාර කිරීමෙන් රෝගය සංසිඳෙන හෙයින් ප්‍ර‍කට හේතුව ගෙන වදාළහ.

 

(3) “යෙ කෙචි භික්ඛවෙ අකුසලා ධම්මා සබ්බෙ තෙ අයොනිසො මනසිකාරමූලකා” ‘මහණෙනි! යම් අකුශල ධර්‍ම කෙනෙක් වෙත් නම් ඒ සියල්ල අයෝනිසොමනසිකාරය මුල් කොට ඇත්තාහයි’ අසාධාරණ හෙයින් එකම හේතුව වදාළහ.

 

වස්තු ආලම්බනාදිය කුසල්-අකුසල් දෙකටම සාධාරණ වුවද, අයෝනිසෝමනසිකාරය අකුසලයට අසාධාරණ හේතු යැ.

 

මෙසේ සෙස් වස්තු-ආලම්බන සහජාත ධර්‍මාදි සංස්කාරයනට හේතු ඇත ද “සංයොජනීයෙසු භික්ඛවෙ ධම්මෙසු අස්සා දානුපස්සිනො තණ්හා පවඩ්ඪති තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවො” සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාද වශයෙන් බලන්නහුට (අවිද්‍යා බලයෙන් ආදීනව නො පැනෙන හෙයින්) තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍ර‍ත්‍යයෙන් උපාදාන වේ. උපාදාන ප්‍ර‍ත්‍යයයෙන් කර්‍ම භව (සංස්කාර) වේ යයි ද “අවිජ්ජා සමුදයා ආසව සමුදයො” අවිද්‍යාව ඇති හෙයින් ආසව වේ’ යයි ද වදාළ හෙයින් සෙසු තෘෂ්ණාදී හේතු ඇත ද සංස්කාරයනට අවිද්‍යාවම ප්‍ර‍ධාන හේතුවයි.

 

“අවීද්‍වා භික්ඛවෙ අවිජ්ජාගතො පුඤ්ඤාගතො පුඤ්ඤාභිසංඛාරම්පි අභිසඞ්ඛරොති”[677] ‘මහණෙනි! අඥානතෙමේ අවිද්‍යාවට පැමිණියේ පුණ්‍යාභිසංස්කාර ද රැස් කෙරේ’ යයි වදාළ හෙයින් ප්‍ර‍කට හේතු බැවින් ද (අඥානයා අකුසල් කෙරෙයි දන්නා ලබනුව කළ බැවින් යනු සන්‍යයි) දක්වන ලදැ යි දත යුතු. ක්‍ෂීණාශ්‍ර‍වයනට අවිද්‍යා නැති හෙයින් සංස්කාර නූපදී. සෙස්සනට අවිද්‍යාව ඇති හෙයින්ම ත්‍රිවිධ සංස්කාරම උපදනා හෙයින් අවිද්‍යාව සංස්කාරයනට අසාධාරණ හේතුවයි.

 

මෙසේ “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා” යනාදී හැම තන්හි ප්‍ර‍තීත්‍ය සමූත්පාදයෙහි ප්‍ර‍ධාන හෙයින් ද, ප්‍ර‍කට හෙයින් ද, අසාධාරණ හේතු හෙයින් ද, එකි එකී හේතු ඵලයන් දැක්වීම බොධනෙය්‍යයන්ගේ (වශයෙන්) ධර්‍මාවබෝධ සඞ්ඛ්‍යාත ප්‍රයෝජනය සඳහා යැ.

 

ප්‍ර‍ශ්නයෙකි:- (මෙ සේ වන්නා) එකාන්තයෙන් අනිෂ්ට ඵල දායක වූ සාවද්‍ය වූ අවිද්‍යාව පුණ්‍ය - ආනෙඤ්ජාභිසංස්කාරයනට ප්‍ර‍ත්‍යය භාවය කෙසේ යෙදේ ද, ‘කොසඹ බිජුවටින් උක් නූපදිනු?

 

පිළිතුර:- ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්‍මයනට විරුද්ධ වූද, අවිරුද්ධ වූද, සදෘශ වූද, අසදෘශවූ ද ප්‍ර‍ත්‍යයය සිද්ධ වේ. ඒ ප්‍ර‍ත්‍යය සමූත්පන්න ධර්‍මයෝ විපාකයෝ ම නො වෙත්.

 

මෙසේ වන හෙයින් කෙසේ නො යෙදේ ද යෙදේ මැයි. හුදකේ ප්‍ර‍තීත්‍යසමුත්පන්න ධර්‍මයනට ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්‍මයන් ගේ ධර්‍මතාව විචිත්‍ර‍ හෙයින් නියම නැති.

 

විස්තර:- ස්වභාව ධර්‍මයන්ගේ ස්ථිතිය, ස්වභාවය, කෘත්‍යය යනාදියට විරුද්ධ වූද අවිරුද්ධ වූද, ප්‍ර‍ත්‍යය ලෝකයෙහි සිද්ධ යැ.

 

ඒ මෙසේ යි:- පූර්‍ව චිත්තය පශ්චිම චිත්තයට ස්ථාන විරුද්ධ ප්‍ර‍ත්‍යය යි. (දෙ සිතක් එකවර නො පවත්නා හෙයිනි.) පූර්‍වශිල්පාදී ශික්‍ෂණය පසුවැ පවත්නා ශිල්පාදී ක්‍රියාවනට ස්ථාන විරුද්ධ යැ.

 

ආරූප්‍ය වූ කර්‍මය කර්‍මජ රූපයනට ස්වභාව විරුද්ධ ප්‍ර‍ත්‍යය යි. (කර්‍මය ආයූහන ස්වභාව යැ. රූපය රූප්පන ස්වභාව යැ. කර්‍මය සාලම්බන ස්වභාව යැ විපාකය අනාලම්බන ස්වභාව යැ) මධුර ස්වභාව ඇති ක්‍ෂීරාදිය අම්බිලස්වභාව වූ දධි ආදියට (ඔවුනොවුනට) ස්වභාව විරුද්ධ ප්‍ර‍ත්‍යය යි.

 

ආලෝකය චක්‍ෂුරවිඥානයයනට කෘත්‍ය වශයෙන් විරුද්ධ ප්‍ර‍ත්‍යය යැ. (ආලොකයට) අවභාශන කෘත්‍යය ඇති බැවින් හා චක්‍ෂුර්විඥානයට විජානන කෘත්‍යය ඇති හෙයිනි.) ගුළාදිය ආසවාදියට කෘත්‍ය වශයෙන් විරුද්‍ධ ප්‍ර‍ත්‍යය යැ. (සකුරු ආදීන්හි පරිශ්‍ර‍ම දුරු කරන කෘත්‍යය ඇතත් ඉන් පෙරන ආස්වාදියැ මදන කෘත්‍යය ඇති හෙයිනි.)

 

චක්‍ෂුරූපාදීහු චක්‍ෂුර්විඥානයට ස්ථාන හෙයින් අවිරුද්‍ධ ප්‍ර‍ත්‍යය යැ. (චක්ඛුප්පසාද - රූපාලම්බනාදිය ඇති කල්හි චක්‍ෂුර්විඥානය උපදනා හෙයිනි.)

 

පූර්‍වජවන පශ්චිම ජවනයට ස්වභාවයෙන් හා කෘත්‍යයේ අවිරුද්‍ධ ප්‍ර‍ත්‍යය යැ. (පූර්‍ව ජවනය හා පශ්චිම ජවනය ද, ඒක ස්වභාවය හා අනන්තර ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වන හෙයින් කෘත්‍යයෙන් සමවැ පවත්නා හෙයිනි.)

 

විරුද්ධ-අවිරුද්ධ ප්‍ර‍ත්‍යයන් මෙන් ම සදෘශ අසදෘශ ප්‍ර‍ත්‍යය ද වේ.

 

ඒ මෙසේයි:- සදෘශ වූ ම සෘතු ආහාර සඞ්ඛ්‍යාත රූපය රූපයට ප්‍රත්‍යය වේ. (හැල් වී ආදිය හැල් කරල් ආදියට ප්‍ර‍ත්‍යය වේ.)

 

අදෘශ්‍ය වූ රූපය අරූපයට (නාමයට) ප්‍ර‍ත්‍යය වේ. අරූපය ද රූපයට ප්‍ර‍ත්‍යය වේ. ගව ලොම් හා පැරැණි එළු ලොම් හී තණට ද, ගව අඟ බට චලට ද, දී-තලපිටි සකුරු එක් කොට ලුයේ භූ තෘණයට ප්‍ර‍ත්‍යය වේ. (භූතෘණ යනු වෙණු යනු සන්‍යයි.) (සුවඳ තණ විශේෂය යනු දීපිකා යි.)

 

ආදි ශබ්දයෙන් සෙවෙල් ඌරු හැල් වලට ද, කොටලු දෙන අශ්වයනට ද, ප්‍ර‍ත්‍යය වේ.

 

(විරුද්‍ධා‘විරුධ ප්‍ර‍ත්‍යය යනු විරුද්‍ධ-අවිරුද්‍ධ එකී එකී ප්‍ර‍ත්‍යය ගෙන කීහ. සදෘශා‘සදෘශ ප්‍ර‍ත්‍ය යනු එක් වැනි නො එක් වැනි විසින් රැස් කොට ගෙන කීහ යනු සන්න යි.)

 

මෙසේ අපට චිත්තාදි ධර්‍මයනට පූර්‍ව චිත්තාදිය විරුද්‍ධ අවිරුද්‍ධ, සදෘශ-අසදෘශ ප්‍ර‍ත්‍යය වන හෙයින් ඒ අපර චිත්තාදී ප්‍ර‍ත්‍යය සමුත්පන්න ධර්‍මයෝ පූර්‍ව චිත්තාදී ප්‍ර‍ත්‍යය ධර්‍මයන් ගේ විපාකම නොවෙති. (විපාක ද වෙති. අවිපාක ද වෙත්.)

 

(එසේ දුඃඛවිපාක වූ අවිද්‍යාව ගේ අදුඃඛ විපාක ඇති පුඤ්ඤආනෙඤ්ජාහි සංස්කාරයනට ප්‍ර‍ත්‍යයත්‍වය නො යෙදෙන්නේ නො වේ.)

 

කරුණු මෙසේ හෙයින් අවිද්‍යාව ගේ විපාකත්‍වය නො වතුදු අවිද්‍යාව සාවද්‍ය බැවින් තත් විරුද්‍ධ නො වූ ද, තත්සදෘශ වූ ද අපුණ්‍යාභි සංස්කාරයටම ප්‍ර‍ත්‍යය වෙයි. සෙස්සවුනට ප්‍ර‍ත්‍යය නො වෙයි යන මේ ප්‍ර‍සඞ්ගය වළකනු පිණිස විරුද්‍ධාදී පූර්‍වොක්ත විස්තරය කියන ලදී.

 

තවද මේ අවිද්‍යාව විපාක වශයෙන් ඒකාන්ත අනිෂ්ට ඵල ඇත්තේ ස්වභාව වශයෙන් සාවද්‍ය වන හෙයින් මේ සියලු පුණ්‍යාභිසංස්කාරාදියට සුදුසු පරිදි ස්ථාන-කෘත්‍ය ස්වභාව-විරුද්‍ධ - අරවිරුද්‍ධ ප්‍ර‍ත්‍යය වශයෙන් ද, සදෘශ අසදෘශ්‍ය වශයෙන් ද, ප්‍ර‍ත්‍යය වේ ය යි දතයුතු.

 

නිර්ණය:- අවිද්‍යාව, පූණ්‍ය ආනෙඤ්ජාභිසංස්කාරයනට ස්ථානාදීන් විරුද්‍ධ ප්‍ර‍ත්‍යය වේ. පුණ්‍යාභිසංස්කාරයනට සදෘශ්‍ය ප්‍ර‍ත්‍යය වේ. සෙස්සනට අසදෘශ ප්‍ර‍ත්‍යය වේ. ‘අවිද්‍යාව ගේ ඒ ප්‍ර‍ත්‍යය ස්වභාවය ද, දුඃඛාදියෙහි නො දැනීම් සඞ්ඛ්‍යාත ඒ අඥාන ස්වභාවය ප්‍ර‍ගීන නො වූ තැනැත්තේ දුඃඛාදියෙහි හා පූර්‍වාන්තයෙහි ද, අඥාන බැවින් සංසාර දුඃඛය සුඛය යන සංඥාවෙන් ගෙන ඒ සංසාර දුකට හේතු ත්‍රිවිධ සංස්කාරයෙන්ම රැස් කෙරේ’ යනාදි ක්‍ර‍මයෙන් කියන ලද්දේ මැයි.

 

මේ තවද ක්‍ර‍මයෙකි.

“චුතූපපාතෙ සංසාරෙ - සඞ්ඛාරානඤ්ච ලක්ඛණෙ

යො පටිච්ච සමුප්පන්න-ධම්මෙසු ච විමුය්හති

අභිසඞ්ඛරොත සො එතෙ-සඞ්ඛාරෙ තිවිධෙ යතො

අවිජ්ජාපච්චයො තෙසං - තිවිධානං අයං තතො”

 

(1) ‘චුතියෙහිද උප්පත්තියෙහි ද, සංසාරයෙහි ද, සංස්කාරයන් ගේ ලක්‍ෂණයේ ද ප්‍ර‍තීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි ද මුළාවන තැනැත්තේ මේ ත්‍රිවිධ සංස්කාරයන් රැස්කරන හෙයින් ඒ ත්‍රිවිධ සංස්කාරයනටම මේ අවිද්‍යාව ප්‍ර‍ත්‍යය වේ.”

 

ප්‍ර‍ශ්න:- මේවායේ මුළා වූයේ කෙසේ ත්‍රිවිද සංස්කාර රැස් කෙරේද,

 

පිළිතුර (1) චුතියෙහි මුළාවූයේ ‘සියලු භවයෙහි ස්කන්‍ධයන් ගේ භේදය මරණය’යි චුතිය තතු සේ නො ගෙන ‘සත්ත්‍වයා මැරෙයි, සත්ත්‍වයා අන්‍ය දේහයකට සංක්‍ර‍මණයවේ යයි’ යනාදීන් විකල්පනය කෙරේ.

 

(2) උප්පත්තියෙහි මුළා වූයේ ඒ ඒ භවයෙහි ස්කන්‍ධයන්ගේ ප්‍ර‍ථම ප්‍රාදුර්‍භාවය උත්පත්තිය යි නො ගෙන සත්ත්‍වයා උපදී ‘සත්ත්‍වයා ජීණි ශරීරය හැර දමා පරලොව අභිනව ශරීර ප්‍රාදුර්‍භාවය (උත්පත්තිය) ලබායැයි’ විකල්පනය කෙරේ.

 

(දිරු වස්ත්‍ර‍ය හැර පියා අලුත් වස්ත්‍ර‍යක් ගන්නා සේ මිනිසා මෙහි දිරු ශරීරය හැර පියා සැප කැමැතිවැ අලුත් ආත්මයක් ගනී[678] යයි ඒ සඳහා කී)

 

(3) සංසාරයෙහි මුළා වූයේ

 

“ඛන්‍ධානංච පටිපාටි - ධාතු ආයතනානච

අබ්බොවජින්නං වත්තමානං - සංසාරොති පවුච්චති

 

“ස්කන්‍ධ - ධාතු - ආයතනයන් ගේ නො සිඳෙන සේ පවත්නා පටිපාටිය සංසාරය යි’ කියනු ලැබේ යැයි මෙසේ වර්ණිත සංසාරය ඒ වූ පරිදි නො ගෙන මේ සත්ත්‍වයා මේ ලෝකයෙන් පරලොව යයි පරලොවින් මෙ ලොව ඒ යයි ආදීන් කල්පනා කරයි.

 

(4) සංස්කාරයන් ගේ ලක්‍ෂණයෙහි මුළාවූයේ රූපාදීන් ගේ රූප්පනාදී ස්වභාවය, ඵස්සාදීන් ගේ ඵුසනාදී ස්වභාවය යන ස්වලක්‍ෂණය ද, අනිත්‍යාදි සාමාන්‍ය ලක්‍ෂණය ද නො ගෙන සංස්කාරයන් ආත්ම වශයෙන් ද, ආත්ම ප්‍ර‍තිබද්ධ වශයෙන් ද, නිත්‍ය -සුඛ - ශුභ වශයෙන් ද විකල්පනය කෙරේ.

 

(5) ප්‍ර‍තීත්‍ය සමුත්පන්න ධර්‍මයෙහි මුළාවූයේ,

 

‘අවිද්‍යාදී ප්‍ර‍ත්‍යයයෙන් සංස්කාරාදීන් ගේ ප්‍ර‍වෘත්තිය නො ගෙන (කපිලාදීන් මෙන්) ආත්මය දනී’ යයි ද, (කණාදාදීන් මෙන්) ආත්මය ස්වභාවයෙන් නො දනිතත් බුද්ධි ගුණයෙන් යුක්ත වූ කල දනීය යි ද, පරලොව සැප දුක් විඳින්නේ කුසල්-අකුසල් තෙමේ ම කරයි අනුන් ලබා ද කරවායැ යි ද (අන්‍යයෙක් නොවේ යයි) ගනී.

 

ප්‍ර‍තිසන්‍ධියෙහි උපදින්නේ ම ද්විඅනුකාදිය ඉපදවීම් වශයෙන් ද, ඊශ්වරාදීන් ගේ ඊප්සාවශයෙන් ද, ‘කලලාදීභාවයෙන් ශරීර සම්පාදනය කරන්නාහු ඉන්‍ද්‍රියයන් සම්පාදනය කෙරෙත් යයි ද, ‘ඒ ආත්ම නම් වූ සත්ත්‍වතෙමේ චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයෙන් යුක්ත වූයේ ස්පර්‍ශ කෙරේ. විදියි, ආසා කෙරෙයි, ගනියි, භවයෙන් භවය ගළපයි. හෙතෙමේ නැවැත භවාන්තර ගත, වේ යයි කියාද, සියලු සත්ත්වයෝ නො සිඳිය හැකි වූ වන් සේ පෙර පසු නියමය අනුවැ හටගැනීම් සඞ්ඛ්‍යාත මනුෂ්‍ය-දිව්‍ය බ්‍ර‍හ්ම ගති වශයෙන් ජාති වශයෙන් පිළිවෙළින් නියතයෙන් පිරිනැමෙති’යි ද විකල්පනය කෙරේ[679] අවිද්‍යාවෙන් මුළාවූ ඒ පුද්ගලයා මෙසේ විකල්පනය කෙරෙමින්, පොළොවෙහි හැසිරෙන අන්‍ධයකු, මගට ද, නො මගටද, ගොඩට ද, වළට ද, සම බිමට ද, විසම බිටම ද, පැමිණෙන්නා සේ පුණ්‍යාභිසංස්කාර ද, අපුන්‍යාභිසංස්කාර ද, ආනෙඤ්ජාභිසංස්කාර ද රැස් කෙරේ.

 

එහෙයින් කියන ලදී

 

(1) යථාපිනාම ජව්චන්‍ධො - නරො අපරිනායකො

එකදා යාති මග්ගෙන - කුම්මග්ගෙනාපි එකදා

 

(2) සංසාරෙ සංසරං බාලො - තථා අපරිනායකො

කරොති එකදා පුඤ්ඤං - අපුඤ්ඤම්පි ච එකදා

 

(3) යදා ච ඤත්‍වා සො ධම්මං - සච්චාති අභිසමෙස්සති

තදා අවිජ්ජුපසමා - උපසන්තො චරිස්සති

 

(1) තමා අත ගෙන මඟ - දක්වන නියමුවකු නැති,

දෑ - අඳ මග ද නො මගද - කලින් කල හැසිරෙන සේ

 

(2) මෙ සසර සැරිසරන - නියමුවකු නැති අඳී බල්,

කලින් කල පින් පව් - කරනුයෙ තතු නො දැනුමෙන්

 

(3) අහස් දැන තතු සේ සිවුසස් පිළිවිඳ යෙහෙන්

අවිදු මුලු සුන් කැරුමෙන් - උපසම සිරින් හැසිරේ.

      මේ “අවිජ්ජා පච්චයා සඞ්ඛාරා” යන්නෙහි විස්තර කථාවයි.

 

      2 සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං,

 

      මෙහි විඤ්ඤාණය චක්ඛුවිඤ්ඤාණාදී වශයෙන් ෂඩ් විධ වේ.

 

      එහි චක්ඛුවිඤ්ඤාණය, කුසල විපාකය, අකුසල විපාක යයි ද්විවිධ යැ.

 

      සෝතඝාන-ජිව්හා-කාය විඤ්ඤාණ ද එසේම කුසල-අකුසල විපාක වශයෙන් බෙදේ.

 

      මනෝ විඤ්ඤාණය කුසල-අකුසල විපාක මනෝධාතු (සම්පටිච්ඡන) දෙක යැ.

 

      අහේතුක මනෝවිඤ්ඤාණ ධාතු (සන්තීරණ) තුන යැ.

 

      සහේතුක කාමාවචර විපාක සිත් අට යැ.

 

රූපාවචර විපාක සිත් පස යැ.

 

අරූපාවචර විපාක සිත් සතර දැයි දෙවිසි (22) වැදෑරුම් වේ.

 

මෙසේ මේ ෂඩ් විඥානයෙන් දෙතිස් (32) සියලු ලෞකික විපාක විඥාන සංග්‍ර‍හ වේ.

 

විශේෂ:- ලෝකෝත්තර විපාක වට්ටකථාවට නො යෙදිය හෙයින් නො ගැනේ.

 

ප්‍ර‍ශ්නයෙකි:- මෙකී තාක් විපාක විඥානය සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් වේය යි කෙසේ දත හැකි ද

 

පිළිතුර:- කර්‍ම රැස් කිරීමක් නැති වැ විපාක නො වන හෙයිනි.

 

ඒ මෙසේ යි:- මේ දෙවිසි විඥානයම විපාක මැයි. හෙද කර්‍ම රැස් කිරීමක් නැති කල නො උපදනේ යි.

 

විශේෂ:- කර්‍ම රැස් කිරීමක් නැතිවැ විපාක උපදනේ නම් සියල්ලන්ට සියලු විපාක ඉපදුන මනා ය. බ්‍ර‍හ්මාත්මයෙහි සිටිය වුනට ඝ්‍රාණ විඥානයාදිය ද, කාමාවචර විපාකාදියදැයි මෙසේ ඒ ඒ විපාකයට අනවකාශස්ථානයෙහි සිටියවුනට ද, සියලු විපාක ලැබීම් වශයෙනි. එ සේ සියල්ලනට සියලු විපාක නූ පදනා හෙයින් සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් මේ විඥාන වේ යයි දතයුතු.

 

එසේ වන්නා කවර සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් කවර විඥාන වේද යත්?

 

කාමාවචර පුණ්‍යාභිසංස්කාර ප්‍ර‍ත්‍යයෙන් කුසල විපාක චක්ඛුවිඤ්ඤාණාදි පස ද, එක් මනෝධාතුවක් (කුසල විපාක සම්පටිච්ඡනය) ද, මනෝවිඥාන ධාතු (කුසල විපාක සන්තීරණ) දෙක ද, කාමාවචර මහා විපාක අට දැයි සොළොස් (16) විපාක වේ.

 

එයින් වදාළහ. “කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්ඛු විඤ්ඤාණං උප්පන්නං හොති -පෙ- සොත-ඝාන-ජිව්හා-කායවිඤ්ඤාණං, විපාකා මනෝධාතු උප්පන්නා හොති. සොමනස්ස සහගතා මනො විඤ්ඤාණ ධාතු උප්පන්නා හොති, සොමනස්ස සහගතා මනොවිඤ්ඤාණ ධාතු උප්පන්නා හොති, උපෙක්ඛා සහගතා ඤාණසම්පයුත්තා, සොමනස්ස සහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙණ, සොමනස්සසහගතාඤාණවිප්පයුත්තා- සොමනස්සසහගතා- ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙණ, උපෙක්ඛාසහගතා ඤාණ සම්පයුත්තා- උපෙක්ඛාසහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙණ, උපෙක්ඛා සහගත ඤාණවිප්පයුත්තා- උපෙක්ඛාසසහගතා ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙණාති.[680]

 

‘කාමාවචර කුශල කර්‍ම කළ හෙයින්, රැස් කළ හෙයින් විපාක වූ චක්ඛුවිඤ්ඤාණය උපදී’ සොතවිඤ්ඤාණාදිය ද එසේ මැ යි. විපාක මනෝධාතු සඞ්ඛ්‍යාත සම්පටිච්ඡන චිත්තය ද, සොමනස්ස සහගත මනොවිඤ්ඤාණ ධාතුව (සොමනස්ස සහගත සන්තීරණය) ද උපදී. සොමනස්ස - ඤාණ සම්පයුත්ත අසඞ්ඛාර සසඞ්ඛාරාදිය ද මෙසේ මැ යි (සුගමයි.)

 

(උපචිතත්තා යන්නට ආසේවන ලද බැවිනැයි සමහරු අර්‍ථ කියැතිය ද ආසේවන නො ලද ප්‍ර‍ථම ජවනයට විපාක දානය නො පැමිණෙන බැවින් ඒ නො මැනැවි යි යනු ස සත්‍ය යි.)

 

රූපාවචර පුණ්‍යාභිසංස්කාර ප්‍ර‍ත්‍යයෙන් රූපාවචර විපාකස්ස ලැබේ. එයින් වදාළහ.

 

“තස්සෙවරූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා, උපචිතත්තා, විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමජ්ඣානං -පෙ- පඤ්චමජ්ඣානං උපසම්පජ්ජ විහරති[681] ඒ රූපාවචර කුශල කර්‍මය කළ හෙයින්, රැස්කළ හෙයින් විපාක වූ -පෙ- පඨමජ්ඣාන සිත ද -පෙ- පඤ්චමජ්ඣාන සිත ද, සන්තානයෙහි ඉපදවීම් වශයෙන් පැමිණ වාසය කෙරේ’ මෙසේ පුණ්‍යාභී සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් එක්විසි (21) වැදෑරුම් විපාක විඥානය උපදී. අපුණ්‍යාභිසංස්කාර ප්‍ර‍ත්‍යයයෙන් අකුසල විපාක චක්ඛුවිඤ්ඤාණාදි පස ද, එකම මනෝධාතුව (සම්පටිච්ඡ) ද, මනොවිඤ්ඤාණ ධාතුව (සන්තීරණ) දැ යි මෙසේ සත් වැදෑරුම් විපාක විඤ්ඤාණය උපදී.

 

එයින් වදාළහ. “අකුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්ඛුවිඤ්ඤාණං උප්පන්තං හොති. සොත-ඝාන-ජිව්හා-කාය විඤ්ඤාණං විපාකා මනොධාතු විපාකා මනො විඤ්ඤාණධාතු උප්පන්නා හොති”[682] යි (අර්‍ථ පෙර කී සේ ය.)

 

ආනෙඤ්ජාභිසංස්කාර ප්‍ර‍ත්‍යයෙන් සතර අරූප විපාක වේ. එයින් වදාළහ. “තස්සෙව අරූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා -පෙ- ආකාසානඤ්චායතන සඤ්ඤසහගතං -පෙ- විඤ්ඤාණඤ්චායතන -පෙ- ආකිඤ්චඤ්ඤායතන -පෙ- නෙවසඤ්ඤා-නාසඤ්ඤායතන සඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා චතුත්‍ථජ්ඣානං උපසම්පජ්ජ විහරතීති.[683]

 

‘ඒ අරූපාවචර කුශල කර්‍මය කළ හෙයින් රැස්කළ හෙයින්ම සර්‍වප්‍ර‍කාරයෙන් රූපසංඥාව ඉක්මවීමෙන් ආකාසනඤ්චායතන සහගත වූ විපාක විඤ්ඤාණය ද, විඤ්ඤාණයඤ්චායතන- ආකිඤ්චඤ්ඤායතන - නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෙන් යුක්ත වූ සුඛ-දුඃඛ ප්‍ර‍හාණයෙන් -චතුර්‍ථධ්‍යානයනට පැමිණ වෙසේයැ’ යි කියායි.

 

(මෙසේ සතර අරූපාවචර විසින් චතුර්විධ විපාක විඥානය වේ. මෙහි ආකාශාදි ආලම්බන වශයෙන් නානාත්‍වය තබා චතුර්‍ථධ්‍යාන වේය යි කීහු.)

 

මෙසේ සංස්කාර ප්‍ර‍ත්‍යයයෙන් යම් විඥානයෙක් වේ නම් ඒ දැන විඥානයාගේ ප්‍ර‍වෘත්තිය ද දත යුතු. මේ සියලු විඥාන ප්‍ර‍වෘත්ති-ප්‍ර‍තිසන්‍ධි වශයෙන් දෙපරිද්දකින් වේ.

 

මොවුනතුරින් දෙපස් (10) විඤඤාණය, මනෝධාතු වය, සෝමනස්ස සහගත අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව (සොමනස්ස සන්තීරණ) ය, යන තෙළෙස (13) පඤ්චස්කන්‍ධය ඇති භවයෙහි සුදුසු සේ ප්‍ර‍වෘත්තියෙහි මැ පවතී. සෙසු එකුන්විස්ස (19) තුන් භවයෙහි සුදුසු බැවින් ප්‍ර‍වෘත්ති ප්‍ර‍තිසන්‍ධි දෙක්හි පවතී.

 

ඒ මෙසේයි:- කුසල විපාක වූ චක්ඛුවිඤ්ඤාණාදි පස, කුසල විපාකයෙන් හෝ අකුසල විපාකයෙන් ඉපිද ක්‍ර‍මයෙන් මිහි කිරීමට පැමිණි චක්‍ෂුරාදි ඉන්‍ද්‍රිය ඇත්තහුට ඒ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයනට හමුවූ ඉෂ්ට වූ හෝ ඉෂ්ට මධ්‍යස්ථ වූ හෝ රූපාදි ආලම්බනය අරභයා චක්‍ෂුරාදි ප්‍ර‍සාද ඇසුරු කොට දර්‍ශන -ශ්‍ර‍වණ- අඝ්‍රායණ- රසාස්වාදන - ස්පර්‍ශන කෘත්‍යයන් සිද්ධ කෙරෙමින් පවතී. අකුසල විපාක පස ද එසේ ම පවතී.

 

විශේෂ:- හුදෙක් අකුසල විපාකයනට අනිෂ්ට වූ හෝ අනිෂ්ට මධ්‍යස්ථ වූ හෝ අරමුණ වේ. මේ දසයම නියත වූ ද්වාරආලම්බන - වස්තු-ස්ථාන ඇත්තාහු. නියත කෘත්‍යය ඇත්තෝම වෙති. ඉක්බිති කුසල විපාක මනෝධාතුව (සම්පටිච්චන) ය ඔවුන්ගේම අරමුණ ඇරබැ හෘදය වස්තුව නිසා සම්පටිච්ඡන කෘත්‍යය සාධමින් පවතී.

 

අකුසල විපාක චක්ඛුවිඤ්ඤාණාදියට අනතුරුවැ අකුසල විපාක ද එසේ මැ යි. මේ මනෝධාතුව වනාහි අනියතද්වාරාලම්බනය නියත වස්තු හා ස්ථාන ද, නියත කෘත්‍යය ද ඇත්තේ වේ.

 

‘සොමනස්සසහගත අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව කුසල විපාක මනොධාතුවට අනතුරුවැ ඒ මනොධාතුහුගේ ම අරමුණු අරැබෑ හෘදය වස්තුව නිසා සන්තීරණ කෘත්‍යය සිද්ධ කරමින් ද ෂඩ් ද්වාරයෙහි බලවත් අරමුණෙහි කාමාවචර සත්ත්‍වයින්ට බෙහෙවින් ලොභසම්ප්‍ර‍යුක්ත ජවන් අවසන්හි භවාඞ්ගවීථිය සිඳගෙන ජවනයෙන් ගත් අරමනෙහි තදාලම්බන වශයෙන් ද වරක් හෝ දෙවරක් හෝ පවතී, යයි මජ්ඣිම නිකායට්ඨකථාහි කියන ලදි.

 

අභිධර්‍ම අටුවාහි තදාරම්මණය දෙ වරක් ම උපදීය යි කියන ලදී.

 

විශේෂ:- මේ සිත ජවනයන් ගත් අරමුණ ගෙන පවත්නා හෙයින් තදාලම්බනයයි ද, ජවනයන් පිටිපස පවත්නා හෙයින් පිට්ඨිභයඞ්ගය යි ද නම් දෙකක් ලබයි.

 

මේ සිත ද අනියතද්‍වාරාලම්බන හා නියත වස්තු හා අනියත ස්ථාන - කෘත්‍යය ඇති සේයි.

 

මෙසේ තෙළෙස් (13) විඤ්ඤාණ පඤ්චවෝකාර භවයෙහි ප්‍ර‍වෘත්තියෙහි ම වේය යි දතයුතු.

 

සෙසු එකුන්විසි (19) විඤ්ඤාණ අතුරින් කිසිවක් තමහට සුදුසු ප්‍ර‍තිසන්‍ධික් ඇති කල්හි නො පවත්නේ නොවේ. (පවතී).

 

ප්‍ර‍වෘත්තියේහි කුසල-අකුසල විපාක අහේතුක මනෝ විඤ්ඤාණය ධාතු (සන්තීරණ) ද්‍වය ය, පඤ්චද්‍වාරයෙහි කුසල අකුසල මනොධාතු ද්‍වයයට අනතුරු වැ සන්තීරණ කෘත්‍යය ද, ෂඩ්ද්වාරයෙහි පෙර කී සේ තදාරම්මණ කෘත්‍යය ද, තමා දුන් පිළිසඳින් මත්තෙහි භවාඞේගාපචේඡදක චිතේතාත්පාදයක් නැතිකල භාවාඞ්ගකෘත්‍යය ද, අන්තයෙහි චුති කෘත්‍යයැදිය කෘත්‍ය සතරක් සිද්ධ කරමින් නියතවස්තුක වැ අනියතද්‍වාරාලම්බනස්ථාන- කෘත්‍යය ඇතිවැ පවතී.

 

කාමාවචර සහේතුක සිත් අට කී නයින්ම සදොරෙහි තදාරම්මණ කෘත්‍යය ද, තමා දුන් පිළිසඳින් මත්තෙහි භවාඞේගාපච්ඡෙදක චිත්තොත්පාදයක් නැතිකල භවාඞ්ගකෘත්‍යය ද, කෙළවර චුතිකෘත්‍යය දැයි මේ තුන් කෘත්‍යයක් සාධමින් නියත වස්තුකවැ අනියතද්‍වාර - ආලම්බන-කෘත්‍යය ඇතිවැ පවතී.

 

රූපාවචර පස හා අරූපාවචර සතර ද තමා දුන් පිළිසඳින් මත්තෙහි භවඞ්ගුපච්ඡෙදක චිත්තොත්පාදයක් නැති කල්හි භවාඞ්ගකෘත්‍ය ද, අවසන චුති කෘත්‍යය යි දෙකිසක් සාධමින් පවතී. ඔවුනතුරින් රූපාවචර පස නියත වස්තු ආලම්බන හා අනියතස්ථාන කෘත්‍යය. අරූපාවචර සතර නියත අවස්තුකය, නියතාලම්බනය, අනියතස්ථානහා කෘත්‍යය ඇතිවැ පවතීය යි, මෙසේ දෙතිස් (32) වැදෑරුම් විඥානය ප්‍ර‍වෘත්තියෙහි ද සංස්කාර නිසා පවතී.

 

ඒ ප්‍ර‍වෘත්තියෙහි දෙතිස් (32) විපාක විඤ්ඤාණයනට ඒ ඒ පුණ්‍යාභි සංස්කාරාදිය නා නා ක්‍ෂණික කර්‍ම ප්‍ර‍ත්‍යයෙන් ද, ප්‍ර‍කෘතොපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය යෙන් ද ප්‍ර‍ත්‍යය වේ.

 

මෙසේ ප්‍ර‍වෘත්තියෙහි විඥානය දක්වා ප්‍ර‍තිසන්‍ධියෙහි ද දක්වන්නාහු “සෙසු එකුන් විසි (19) විඤ්ඤාණ අතුරින් කිසිවක් තමහට සුදුසු ප්‍ර‍තිසන්‍ධියක් නොදී නො පවතී” යයි පෙර කී වචනය ඉතා සැකෙවින් කී හෙයින් නො දත හැක්ක. එහි විස්තරය දැක්වීම සඳහා,

 

(1) ප්‍ර‍තිසන්‍ධි කෙතෙක් ද

(2) ප්‍ර‍තිසන්‍ධි සිත් කෙතෙක් ද

(3) කවර සිතකින් කවර භවයෙකැ ප්‍ර‍තිසන්‍ධි වේ ද

(4) ප්‍ර‍තිසන්‍ධියට අරමුණු කුමක් ද යන මේ ප්‍ර‍ශ්න විසඳිය යුතු ය.

 

(1) අසඤ්ඤසත්ත පටිසත්‍ධිය ද සමග පටිසන්‍ධි විස්සෙකි. (20)

 

(2) පටිසන්‍ධි සිත් එකුන් විස්සෙකි (19) ඒ පෙරැ සේ යැ.

විශේෂ:- ප්‍ර‍තිසන්‍ධි කෙතෙක් ද, ප්‍ර‍තිසන්‍ධි සිත් කෙතෙක් දැයි දෙවරක් විචාළේ (භවයෙන් භවය ගැලපීම ප්‍ර‍තිසන්‍ධි යැ) එය අචිත්තකව ද වන හෙයිනි.

 

(3) අකුසල විපාක මනොවිඤඤාණ ධාතුවෙන් (උපෙක්ඛා සහගත සන්තීරණයෙන්) සතර අපායෙහි පිළිසිඳ දේ.

කුසල විපාක (අහෙතුක) මනෝවිඤ්ඤාණ ධාතුවෙන් මිනිස් ලොව ජාත්‍යන්ධාදීන් ගේ උපත වෙයි. ජාත්‍යන්‍ධ -ජාත බධිර-ජාති උම්මත්තක -ජාති ඒ ළමූග-නපුංසක ද, ආදි ශබ්දයෙන් මම්මනද ගැනේය යි ඇතැමෙක් කියති. ඇතැම් අහේතුක සත්ත්‍ව කෙනෙක් අවිකල ඉන්‍ද්‍රිය වැ මඳක් විචාරණ ස්වභාව ඇති වෙත්ය යි එබන්දන් ද ආදී ශබ්දයෙන් සංග්‍ර‍හ වේය යි කෙනෙක් කියත්.

 

සහේතුක කාමාවචර විපාක අටෙන් කාමාවචර දෙවියන්ගේ ද මිනිස් ලොව පැනැතියනගේ ද පිළිසිඳ වේ.

 

රූපාවදර විපාක පස රූපාවචර බ්‍ර‍හ්ම ලෝකයෙහි ද

 

අරූපාවචර විපාක සතර අරූපාවචර ලෝකයෙහි ද පිළිසිඳ දේ. (ඒ ඒ භවයෙහි පිළිසිඳ දෙන සිතම අයට සුදුසු පිළිසිඳ යැ)

 

(4) සැකෙවින් පිළිසිඳට අතීතාලම්බනය -පච්චුප්පන්නාලම්බනය-නවත්තබ්බාලම්බනයැ යි ආලම්බන තුනකි.

 

අසංඥ ප්‍රතිසන්‍ධියට ආලම්බනයෙක් නැති.

 

විඤ්ඤාණඤ්චායතන - නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්‍ර‍තිසන්‍ධියට අතීතා-ලම්බනයම වේ. දස කාමාවචරයනට අතීත හෝ වර්‍තමාන හෝ අරමුණු වේ. සෙසු රූපාවචර ප්‍ර‍තිසන්‍ධීනට හා ප්‍ර‍ථම තෘතීය ආරූප්‍ය ප්‍ර‍තිසන්‍ධිනට නවත්තබ්බාලම්බනය අරමුණු වේ.

 

මෙසේ තුන් අරමුණෙහි පවත්නා ප්‍ර‍තිසන්‍ධි සිත් අතීතාලම්බන වූ හෝ නවත්තබ්බාලම්බනය වූ හෝ චුතියට අනතුරුවැ මැ පවතී.

 

විශේෂ:- පච්චුපන්නාලම්බන සිත් නැති.

 

එහෙයින් අතීත - නවත්තබ්බාලම්බන වශයෙන් දෙයාකාර අරමුණු අතුරින් එක්තරා එකක් අරමුණු කොට ඇති චුතියට අනතුරුවැ අතීත-පච්චුප්පන්න-නවත්තබ්බ අරමුණු අතුරින් එක්තරා එකක් අරමුණු කොට ඇති ප්‍ර‍තිසන්‍ධියෙහි සුගති-දුගති වශයෙන් පවත්නා ආකාරය දත යුතු.

 

ඒ මෙසේ යි:- (1) කාමසුගතියෙහි සිටි පව්කම් කොට මර ඇඳ හොත්තහුට ඒ පව්කම් හෝ කර්‍මනිමිති හෝ මනොද්‍වාරයෙහි හමුවීමට යේ. ඒ අරමුණු කොට නිපන් තදාලම්බන අවසන් කොට ඇති ජවන වීථියට අනතුරුවැ භවාඞ්ගවිෂය අරමුණු කොට චුතිචිත්තය උපදනේ යි. ඒ නිරුද්ධ වූ කෙණෙහි එයට අනතුරුවැමැ ඒ ජවනවීථියට හමු වූ කර්‍ම හෝ කර්‍ම නිමිත්ත හෝ අරභයා මාර්‍ගයෙන් නො සිඳී කෙලෙස් බලයෙන් නමනලද දුර්‍ගති පර්‍ය්‍යාපන්න ප්‍ර‍තිසන්‍ධි චිත්තය උපදී.

 

මේ අතීතාලම්බන චුතියට අනතුරුවැ අතීතාලම්බන ප්‍ර‍තිසන්‍ධිය යැ.

(2) අනිකකුට මරණාසන්නයෙහි යට කී සේ අකුශල කර්‍මයෙන් නරක ආදියෙහි ගිනිදැල් වර්‍ණ ආදි දුගති නිමිනි මනොද්‍වාරයට එළඹ සිටි. අනතුරු වැ දෙවරක් භවාඞ්ගය ඉපිද නිරුද්‍ධ වූ කල ඒ අරමුණ අරැබැ එක් ආවර්‍ජන සිතක් ද, මරණයට ආසන්න බැවින් මඳ වූ වේග ඇති හෙයින් ජවන් පසක් ද, තදාරම්මන දෙකක් දැයි වීථි සිත් තුනක් උපදී. අනතුරු වැ භවාංග විෂය අරමුණු කොට එක් චුති සිතක් උපදී. මෙතෙකින් එකොළොස් (11) චිත්තක්‍ෂණයක් ඉක්මියේ වෙයි. අනතුරු වැ චිත්තක්‍ෂණ පසක් ආයු ශේෂ වූ එම ආලම්බනයෙහි ම පටිසන්‍ධි චිත්තය උපදී.

 

මේ අතීතාලම්බන චුතියට අනතුරුවැ ප්‍ර‍ත්‍යුත්පන්නා ලම්බන ප්‍ර‍තිසන්‍ධිය යැ.

 

(3) අනිකකුට මැරෙනකල පඤ්චද්‍වාරයන් අතුරින් එක් වාරයෙකැ රාගාදී ක්ලේශයනට හේතු වූ අනිෂ්ට රූපාදී අරමුණක් හමුවීමට යේ. ඒහට පිළිවෙළින් උපන් වොත්‍ථපනයා ගේ අවසන්හි මරණය ආසන්න බැවින් මඳ වූ වේග ඇති හෙයින් ජවන් පසක් හා තදාරම්මණ දෙකක් උපදී. අනතුරුවැ භවාඞ්ග විෂය අරමුණු කොට එක් චුති සිතෙක් වේ. මෙතෙකින් භවාඞ්ග දෙකෙක, පඤ්චද්‍වාරාවර්‍ජනය, චක්ඛුවිඤ්ඤාණය, සම්පටිච්ඡනය, සන්තීරණය, වොත්‍ථපනය, ජවන් පසය, තදාරම්මණ දෙක ය, චුති සිතැයැ යි පසළොස් (15) චිත්තක්‍ෂණයෙක් ඉක්මියේ වේ. අනතුරු වැ එක් චිත්තක්‍ෂණයෙකැ ආයු ශේෂ වූ එම ආලම්බනයෙහි ප්‍ර‍තිසන්‍ධි සිත උපදී.

 

මෙද අතීතාලම්බන චුතියට අනතුරුවැ පච්චුප්පන්නාලම්බන ප්‍ර‍තිසන්‍ධිය යැ.

 

මේ වූ කලී අතීතාලම්බන සුගති චුතියට අනතුරු වැ අතීත පච්චුප්පන්නාලම්බන දුගති ප්‍ර‍තිසන්‍ධිය පවත්නා ආකාරය යැ.

 

(4) ‘දුගතියෙහි සිටි මරණාසන්න කාලයෙහි රැස් කරන ලද නිවැරැදි කර්‍ම ඇත්තහුට පෙරැ කී සේ ඒ නිවරද කර්‍මය හෝ කර්‍ම නිමිත්ත හෝ මනෝද්වාරයෙහි අරමුණු බවට පැමිණේ’ යයි මෙසේ අකුශල පක්‍ෂයෙහි කුශල පක්‍ෂය බහා සියල්ල පෙරැ කීසේ දත යුතු යි.

 

මේ අතීතාලම්බන දුගති චුතියට අනතුරුවැ (කර්‍ම නිමිත්ත වශයෙන්) අතීත වූ ද (මාතෘකුක්‍ෂි ආදි වශයෙන්) පච්චුප්පන්නාලම්බනවූ ද සුගති ප්‍ර‍තිසන්‍ධිය පවත්නා ආකාරය යැ.

 

(5) සුගතියෙහි සිට රැස්කළ නිවරද කර්‍ම ඇත්තහුට “තානිස්ස තස්මිං සමයෙ ඔලම්බන්තීති” ඒ කර්‍ම ඔහුට ඒ ප්‍ර‍තිසන්‍ධි ක්‍ෂණයෙහි වැටහේයයි’ වදාළ හෙයින් මරණ මඤ්චකයෙහි හොත්තහුට රැස්කළ පරිදි කුශල කර්‍මය හෝ කර්‍ම නිමිත්ත හෝ මනෝද්‍වාරයෙහි ආපාථගත වේ. හෙද රැස්කළ කාමාවචර නිවරද කර්‍ම ඇත්තහුට මැයි.

 

එහෙත් රැස්කළ මහද්ගත කර්‍ම ඇත්තහුට කර්‍ම නිමිත්තම අරමුණු වේ. ඒ කර්‍මනිමිත්ත අරමුණු කොට නිපන් තදාලම්බන අවසන් කොට ඇත්තා වූ හෝ ශුද්ධ වූ ජවන වීථියට හෝ අනතුරුවැ භවාඞ්ගවිෂය අරමුණු කොට චුති සිත උපදී.

 

එය නිරුද්ධ වූ පසු ඒ ආපාථගත කර්‍මය හෝ කර්‍ම නිමිත්ත හෝ අරභයා නො සිඳිනාලද කෙලෙස් බලයෙන් නමනලද සුගති පර්‍ය්‍යාපන්න ප්‍ර‍තිසන්‍ධි සිත උපදී.

 

මේ අතීතාලම්බන චුතියට අනතුරුව අතීතාලම්බන වූ හෝ (කසිණ නිමිත්තාදී වශයෙන්) නො කියහැකි වූ හෝ අරමුණු ඇති ප්‍ර‍තිසන්‍ධිය යැ.

 

(6) අනිකකුට මරණසාන්න කාලයෙහි කාමාවචර කුශලකර්‍ම වශයෙන් මනුෂ්‍යලෝකයෙහි මාතෘකුක්‍ෂි වර්‍ණාදි වශයෙන් හෝ සදෙව් ලොවැ උයන්-විමන්-කප්රුක් ආදී වර්‍ණ වශයෙන් හෝ සුගතිනිමිත්ත මනෝද්වාරයට මුවීමට පැමිණේ. ඔහුට දුගති නිමිත්තෙහි කී සෙයින් ම චුති සිතට අනතුරුවැ ප්‍ර‍තිසන්‍ධි සිත උපදී.

 

මේ අතීතාලම්බන චුතියට අනතුරු වැ පච්චුප්පන්නාලම්බන ප්‍ර‍තිසන්‍ධිය යි.

 

(7) අනිකකුට මරණ කාලයෙහි නෑයෝ‍්, ‘දරුව! මේ ඔබ පිණිස බුද්ධ පූජා කෙරේ. සිත පහදව යි’ කියා මල් දම් කොඩි ආදි වශයෙන් රූපාලම්බනයක් හෝ, ධර්‍මශ්‍ර‍වණ-තූර්‍ය්‍යවාදනාදි වශයෙන් ශබ්දාලම්බනයක් හෝ, සුවඳ-දුම් ආදි වශයෙන් ගන්‍ධාලම්බනයක් හෝ, ‘දරුව මේ රස විඳුව තා පිණිස පිදිය යුතු දැයි යි’ කියා මී පැණි ආදි වශයෙන් රසාලම්බනයක් හෝ, ‘දරුව! මේ ස්පර්‍ශ කරව තා පිණිස පිදිය යුතු දැයි’ යි චීනපට-සොමාරපට ඇදි ස්පර්‍ශාලම්බනයක් හෝ පඤ්චද්වාරයට එළවද්ද ඕහට එසේ අපාථගත වූ ඒ රූපාදී ආලම්බනයෙහි පිළිවෙළින් උපන් වොත්‍ථපනයා ගේ අවසන්හි මරණයා ගේ ආසන්න භාවයෙන් මඳ වූ වේග ඇති හෙයින් ජවන් පසක් හා තදාලම්බන දෙකක් උපදී. ඉක්බිති භවාඞ්ග විෂය ආලම්බන කොට එක් චුති සිතක් ද වේ අවසන්හි ඒ එක් චිත්තක්‍ෂණයක් පවත්නා ආලම්බනයෙහි ප්‍ර‍තිසන්‍ධි සිත උපදී.

 

මේ අතීතාලම්බන චුතියට අනතුරුවැ ප්‍ර‍ත්‍යුත්පන්නලම්බන ප්‍ර‍තිසන්‍ධිය යි.

 

(8) අනෙක් පඨවි කසිණ ධ්‍යානාදී වශයෙන් ලැබූ මහද්ගත ධ්‍යාන ඇති සුගතියෙහි සිටියහුට මරණාසන්න කාලයෙහි කාමාවචර කුශල කර්‍මය, කර්‍ම නිමිත්තය, ගති නිමිත්තය යන මොවුන් අතුරින් එකක් හෝ පඨවි කසිණාදී නිමිති ඇති මහද්ගත සිතක් හෝ මනෝද්‍වාරයෙහි ආපාථගත වේ.

 

චක්ඛු-සෝතයන් අතුරින් එකෙකැ කුශලොත්පත්තියට නිමිති වූ බුද්‍ධදර්‍ශන, ධර්‍මශ්‍ර‍වණාදී ප්‍ර‍නීතාලම්බනයක් හෝ හමුවීමට යේ ඔහුට පිළිවෙළින් උපන් වොත්‍ථපනාවසානයෙහි මරණයට ආසන්න බැවින් මඳ වූ වේග ඇති හෙයින් ජවන පසක් උපදී.

 

විශේෂ:- මහද්ගත ගතිකයනට තදාලම්බන නූපදී. එහෙයින් ජවනානන්තරවැම භවාඞ්ග විෂය අරමුණු කොට එක් චුති සිතක් උපදී. එයට අනතුරුවැ කාමාවචර මහද්ගත සුගතීන් අතුරින් එක්තරා සුගතියෙකැ ඇතුළත් එළඹ සිටි ආලම්බන අතුරින් එක්තරා අරමුණක ප්‍ර‍තිසන්‍ධි සිත උපදී.

 

මේ නවක්තව්‍යාලම්බන සුගති චුතියට අනතුරුවැ අතීත-ප්‍ර‍ත්‍යුත්පන්න නවක්තව්‍යාලම්බනයන් අතුරින් එක්තරා අරමුණක් ඇති ප්‍ර‍තිසන්‍ධිය යි.

 

විස්තර:- නවක්තව්‍යාලම්බන (පඨවිකසිණාදි) රූපාවචර චුතියෙන් කර්‍ම-කර්‍මනිමිත්තාලම්බන වහයෙන් කාමාවචර ප්‍ර‍තිසන්‍ධිය වේ. ගතිනිමිත්ත හා චක්ඛු සොතද්‍වාර ආලම්බන වශයෙන් ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බනික කාමාවචර ප්‍ර‍තිසන්‍ධිය වේ.

 

පඨවිකසිණාදි වශයෙන් නවක්තව්‍යාලම්බනික රූපාවචර ප්‍ර‍තිසන්‍ධිය වේ. කිසුණු ඉගුළු අහස්හි විඥානාපගමයෙන් නවක්තව්‍යාලම්බන අරූපාවචර ප්‍ර‍තිසන්‍ධි වේ. ආකාසානඤ්චායතන-ආකිඤ්චඤ්ඤායතන වශයෙන් අතීතාලම්බන අරූපාවචර ප්‍ර‍තිසන්‍ධි වේ.

 

විශේෂ:- අරූපාවචර චුතියට අනන්තර වූ රූපාවචර ප්‍ර‍තිසන්‍ධි නැති. මේ අනුසාරයෙන් අරූප චුතියට ද අනතුරුව ප්‍ර‍තිසන්‍ධි දත යුතුය.

 

මේ අතීතනවක්තව්‍යාලම්බන සුගති චුතියට අනතුරුවැ අතීත නවක්තව්‍යාප්‍ර‍ත්‍යුත්පන්නාලම්බන ප්‍ර‍තිසන්‍ධිය පවත්නා ආකාරය යි.

 

නිෂ්කර්‍ෂය:- මෙසේ ආලම්බන වශයෙන් ඒකවිධ වූ කාමාවචර සුගති චුතියෙන් ද්විවිධ දුර්‍ගති ප්‍ර‍තිසන්‍ධිය යැ. 

 

දුගති චුතියෙන් විවිධ සුගති ප්‍ර‍තිසන්‍ධිය යැ.

 

කාමාවචර සුගති චුතියෙන් (විවිධ-එකවිධ) ද්විප්‍ර‍කාර වූ ම කාම-රූප-අරූප ප්‍ර‍තිසන්‍ධි වශයෙන් පඤ්චවිධ සුගති ප්‍ර‍තිසන්‍ධිය යැ.

 

රූපාවචර චුතියෙන් එසේ ම පඤ්චවිධ වූ ප්‍ර‍තිසන්‍ධිය යැ.

 

ද්‍විවිධ ආරුප්ප චුතියෙන් වෙන් වෙන් වැ දෙකක් දෙකක් වූ කාම-ආරූප්‍ය ප්‍ර‍තිසන්‍ධි වශයෙන් අටවැදෑරුම් ප්‍ර‍තිසන්‍ධිය යැ යන මොහු දක්වන ලදහ.

 

දුගතියෙහි සිටි පව්කම් කළහුට වනාහි පෙර කි සේ ඒ පාපකර්‍මය හෝ කර්‍මනිමිත්ත හෝ ගතිනිමිත්ත හෝ මනෝද්වාරයෙහි හෝ පඤ්චද්‍වාරයෙහි අකුසල් ඉපැත්මට හේතු වූ අරමුණ ආපාථගත වේ. එකල ඕහට පිළිවෙළින් චුති චිත්තාවසානයෙහි දුර්‍ගති පර්‍ය්‍යාපන්න ප්‍ර‍තිසන්‍ධි චිත්තය ඒ ආලම්බන අතුරින් යම් කිසි ආලම්බනයෙකැ උපදී.

 

මේ අතීතාලම්බන දුර්‍ගති චුතියට අනතුරුවැ අතීත ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බන ප්‍ර‍තිසන්‍ධිය පවත්නා සැටි යැ.

 

විශේෂ:- ඒකවිධ දුර්‍ගති චුතියෙන් ද්‍විවිධ දුර්‍ගති ප්‍ර‍තිසන්‍ධිය දක්වනු සඳහා යැ මේ කීයේ.

 

මෙ තෙකින් එකුන් විසි (19) වැදෑරුම් වූ මැ විපාක විඥානයාගේ ප්‍ර‍තිසන්‍ධි වශයෙන් පැවැත්ම දක්වන ලදී.

 

මෙසේ කාමාවචර සුගති චුතියට අනතුරුවැ දුර්‍ගති ප්‍ර‍තිසන්‍ධි දෙකෙක.

 

දුගති චුතියට අනතුරුව සුගති ප්‍ර‍තිසන්‍ධි දෙකෙක.

 

කාමාවචර සුගති චුතියට අනතුරුවැ කාම-රූප-අරූප ප්‍ර‍තිසන්‍ධි පසෙක.

 

රූපාවචර චුතියට අනතුරුවැ සුගති ප්‍ර‍තිසන්‍ධි පසෙක.

 

ද්‍විවිධ අරූප චුතියට අනතුරුව කාම-අරූප ප්‍ර‍තිසන්‍ධි අටෙක.

 

දුගති චුතියට අනතුරුවැ දුගති ප්‍ර‍තිසන්‍ධි දෙකෙකැයි ප්‍ර‍තිසන්‍ධි සූවිස්සෙක් (24) වේ.

 

“පිළිසිඳ පවත්නේ - කැමිනි* දෙපරිදි වන්නේ

රූ මුසු ඈ බෙයින්+ ඒ - දෙපරිදි ඈ බෙයින් වේ.”

 

ඒ මෙසේයි:- මේ එකුන් විසි වැදෑරුම් විපාක විඥානය ප්‍ර‍තිසන්‍ධියෙහි පවත්නේ කර්‍මයෙන් දෙපරිද්දෙකින් පවතී.

 

විස්තර:- මේ විපාක විඥානය උපදවන තමහට සුදුසු සේ පවත්නා කර්‍මය නානාක්‍ෂණික කර්‍මප්‍ර‍ත්‍යයයෙන් ද, උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන් දැයි දෙපරිද්දෙනි.

 

එයින් වදාළහ. “කාමාවචරස්ස කුසලසස කම්මස්ස කතත්තා”[684] යනාදීන් නානාක්‍ෂණික කර්‍මප්‍ර‍ත්‍යයෙන් ද,

 

කුසලාකුසලං කම්මං විපාකස්ස උපනිස්සය පච්චයෙන පච්චයො[685] උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය ද කීහ.

 

මෙසේ පවත්නා ඒ විපාක විඥානයා ගේ රූප මිශ්‍රාදී භේදයෙන් ද්‍විප්‍ර‍කාරාදි භේදය ද දත යුතු.

 

ඒ මෙසේ යි:- ප්‍ර‍තිසන්‍ධි වශයෙන් එක් ආකාරයකින් පවත්නා මේ විපාක විඥානය (නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය වූ) රූපය හා මිශ්‍ර‍-අමිශ්‍ර‍ භේදයෙන් ද්විවිධ වේ. කාම භව - රූප භව - අරූප භව භේදයෙන් ත්‍රිවිධ වේ.

 

අණ්ඩජ - ජලාබුජ - සංසේදජ - ඕපපාතික යෝනි වශයෙන් චතුර්විධ වේ.

 

ගති වශයෙන් පඤ්චවිධ වේ

විඥානස්ථිති වශයෙන් සප්තවිධ වේ

සත්ත්‍වාවාස වශයෙන් අෂ්ටවිධ වේ. (මෙහි අසංඥ සත්ත්‍වය නැති.)

 

තවද

 

“මුසු බව බෙයින් දෙවෙ* සබවුදු+ ඉන් දෙකෙක් වේ.

මුසු බව හා අඩුයෙන් - දසක දෙකෙක් තුනෙක් හෝ”

විස්තර:- රූප මිශ්‍ර‍ ප්‍ර‍තිසන්‍ධි විඥානය භාව භෙදයෙන් විවිධ වේ.

 

මේ මිශ්‍ර‍-අමිශ්‍ර‍ ප්‍ර‍තිසන්‍ධි විඥානයන් අතුරින් අරූපභවය හැර සෙසු තන්හි රූපය හා මිශ්‍ර‍ වූ ප්‍ර‍තිසන්‍ධි විඥානය උපදී. හෙදරූප භවයෙහි ස්ත්‍රී-පුරුෂ ඉන්‍ද්‍රිය නම්වූ භාව රූප නැතිවැ උපදනා හෙයින් ද, කාම භවයෙහි ජාති නපුංසක ප්‍ර‍තිසන්‍ධිය හැර සෙසු තන්හි ස්ත්‍රී-පුරුෂ භාව සහිතවැ උපදනා හෙයින් ද සභාවයැ, අභාවයැයි ද්‍විවිධ වේ.

 

එහි භාවරූප සහිත ප්‍ර‍තිසන්‍ධිය ද්විවිධ වේ.

 

ඒ මෙසේ යි:- ඒ සභාවක ප්‍ර‍තිසන්‍ධියෙහි ද ස්ත්‍රිභාවය පුරුෂ භාවය යන මොවනතුරින් එක්තරා භාව රූපයක් හා මිශ්‍ර‍ව ඉපදීම් වශයෙනි.

 

ඒ රූප මිශ්‍ර‍ ප්‍ර‍තිසන්‍ධිය හා ඔමක හෙයින් දශක දෙකෙක් හෝ තුනෙක් වේ. පෙර කී මිශ්‍ර‍-අමිශ්‍ර‍ ද්‍විකයෙහි පළමු කී රූප මිශ්‍ර‍ ප්‍ර‍තිසන්‍ධි විඥානය ඒ හා උපදනා වස්තුකාය දශක වශයෙන් දශක දෙකක් හෝ වස්තු-කාය භව දශක වශයෙන් තුනක් හෝ අඩු වශයෙන් උපදී.

 

විශේෂ:- මේ ද්විවිධ - ත්‍රිවිධ දශකයන් හැර අනෙක් රූප පිරිහීමෙක් නැති, මෙයට අඩු වූ රූප මිශ්‍ර‍ ප්‍ර‍තිසන්‍ධියෙක් නැති, මෙසේ ඒ (ඔමක) යටත් පිරිසෙයින් රූප මිශ්‍ර‍ ප්‍ර‍තිසන්‍ධිය, අණ්ඩජ-ජලාබුජ යෝනීන්හි එදවස් උපන් එළුපැටවකු ගේ රෝමයෙකින් නඟාගත් (තලතෙල්) පහන් ගිතෙල් බිඳක් පමණ වූ කලල රූපය නමින් උපදී. එයිදු යෝනීන් ගේ ගතිවශයෙන් සම්භව (හටගන්නා භාව රූප) භේදය දතයුතු.

 

නිරයද බුමුටු* හැර -අන් දෙවියනට මුල කී,

තුන් යොන්++[686] නො වේ සෙසු තුන්-ගතියෙහි සිවු යොන මැවේ.

එහි යෝනි වශයෙන් සම්භව භේදය මෙසේ යි.

 

නරකයෙහි ද, භූම්‍යස්ථ දෙවියන් හැර සෙසු දෙවියන් විෂයෙහි ද, පළමු කී අණ්ඩජාදි ත්‍රිවිධ යෝනිහූ නො වෙති, එහි ඕපපාතිකයෝ මැ වෙති. එසේ ම නිජ්ඣාමතණ්හික ප්‍රේත විෂයයෙහි ද, පළමු කී ත්‍රිවිධ යෝනීහු නො වෙති. එහිදු ඕපපාතිකයෝ ම වෙති. සෙසු තීර්‍ය්‍යක් ප්‍රේත-මනුෂ්‍ය යන ගති තුනෙහි ද, පෙර කී භූමාටු දෙවියන් විෂයයෙහි ද, අණ්ඩජාදී සිවු යෝනීහු මැ වෙති.

 

එහිද,

 

“රූ බිමැ රූ තිසෙක- නෙවෙක-දෙයොන‘ග* උකටින්+[687]

සම සැත්තෑ (70) රූවේ- අඩුවෙන් තිසෙක් (30) හෝ වේ

 

ඕපපාතික යෝනු වූ රූපාවචර බ්‍ර‍හ්ම විෂයෙහි චක්ඛු-සෝත-වස්තු- දශක වශයෙන් කර්‍මජ රූප තිසෙක (30) ජීවිත නවක කලාප වශයෙන් නවයෙක් දැකිය ප්‍ර‍තිසන්‍ධි විඥානය සමග රූප එකුන්සාලිසෙක් (41) උපදී. ඒ රූපි බ්‍ර‍හ්මයන් හැර සෙසු සංසෙදජ ඕපපාතික-යෝනීන්හි උඩත්පිරිසෙයින් චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය-වත්‍ථු-භාව දසක වශයෙන් සැත්තෑවෙක් (70) වේ. (යටත් පිරිසෙයින් කාය-භාව-වත්‍ථු දහක තුන වේ.) ඒ සැත්තෑව දෙවියන් විෂයෙහි නිත්‍යයෙන් වේ. ඒ චක්ඛු ආදි දශකයෙහි වණ්ණ-ගන්‍ධ-රස-ඕජා-පඨවි-ආපෝ-තේජෝ-වායෝ-චක්ඛු-ජීවිත යන මේ දසයක් වූ රූප පුඤජය චක්ඛු දසක (10) නම් වේ. සෙසු දසක ද මෙසේ මැයි.

 

විශේෂ:- සෝත-ඝාණ-ජිව්හා-කාය-හදය-භාව රූප මතු වෙනසී.

 

යටත්පිරිසෙයින්, ජාත්‍යන්‍ධ-බධිර-අඝාණක-නපුංසක යන මොවුනට ජිව්හා-කාය-වත්‍ථු දශක වශයෙන් රූප තිසෙක් (30) උපදී.

 

උත්කර්ෂ-අපකර්‍ෂයන්ගේ අතුරෙහි සුදුසු සේ විකල්පය දතයුතු. (මේ පිළිබඳ ටීකායෙහි මතාන්තර ඇතුළු විස්තරයෙක් එයි) මේ යටත් පිරිසෙයින් කී අර්ථය පාළිය හා යෙදෙන සේ ගළපා දත යුතු.

 

“කාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්සවි එකාදසායත නාති පාතුභවන්ති, කස්සවි දසායතනානි- කස්සවි අපරානිපි දසායතනානි- කස්සවි නවායතනානි- තස්සවි සත්තා-යතනානි[688] ‘කාමභවයෙහි සංසෙදජ ඕපපාතිකයනට පරිපූණායතන වශයෙන් (ශබ්දවර්ජිත) ඒකාදස ආතනයෙකි. අන්‍ධයාහට දක්ඛායතන වර්ජිත දස ආයතනයෙකි. බිහිරාට සෝතායතන වර්ජිත දස ආයතනයෙකි. අන්‍ධ බධිරයාට චක්ඛු-සෝත ආයතන වර්ජිත නව ආයතනයෙකි, ගබ්භසෙය්‍යකයනට රූප-ගන්‍ධ-රස-කාය-ඵොට්ඨබ්බ-මන-ධම්මායතන වශයෙන් සප්ත ආයතනයෙකැයි කියන ලදි.

 

විශේෂ:- “අඝාණකො ඔපපාතිකො නාම නත්‍ථි”[689] ‘ආඝාණක ඔපපාතිකයෙන් නැතැයි’ කී හෙයින් හා පෙර කී ධම්ම හදය විභඞ්ගපාඨයෙහි “අට්ඨායතනානි පාතුභවන්ති” යි නො කී හෙයින් ද එය ස්ථිර යි.

 

එසේ වේ නම් එහි “කස්සවි අපරානිපිදසායතනානි පාතු භවන්තී” යි ඝ්‍රාණවර්ජිත ඔපපාතිකයා සඳහා කිවමනා ය, එසේම ‘කස්සවි අඨායතනානි පාතු භවන්ති”යි චක්ඛු. සෝත ඝාණ විකල වූ වහු සඳහා කියයුතු වේ.

 

එසේම, අන්‍ධා‘ඝාණක- බධිරාඝාණකයන් සඳහා “කස්සවි අපරානිපි නවායතනානි පාතු භවන්ති” යි දෙවරක් කිවයුතු වේ.

 

තවද මෙහි ‘යටත්පිරිසෙයින්’ යි කීයේ සතර අපායෙහි සංසේදජයන් පිණිසය යනු මහ අටුවා මතය යි. (සංසෙදජඋපපාදුක මිනිස්සු වනාහි පරිපූර්‍ණායතන ඇතියෝ මැ වෙති යනු සන්‍යයි.)

 

එහෙයින් අපායෙහි ජාත්‍යාන්‍ධයාහට රූපකලාප       සයෙක          (6)

ජාති බධිරයාහට            ”          ”           (6)

ජාති අඝ්‍රාණකයාහට              ”          ”           (6)

ජාති නපුංසකයාහට              ”          ”           (6)

ජාත්‍යන්‍ධ-බධිරයාහට              ”           පසෙක          (5)

ජාත්‍යන්‍ධ-ආඝ්‍රාණකයාහට          ”          ”           (5)

ජාති බධිරාඝ්‍රාණකයාහට          ”          ”           (5)

ජාත්‍යන්‍ධ- බධිරාඝ්‍රාණකයාහට      ”           සතරෙක   (4)

ජාත්‍යන්‍ධ - බධිරනපුංසකයාහට    ”          ”           (4)

යි ද දතයුතු.

 

මෙසේ නැවත ද,

 

චුති පිළිසඳුන් බඳ - කඳ‘රමුණු ගතිහෙ වෙයින්*[690]

පී වැතැකි විසැරියෙන්+ - සම විසම බව් දන්නෙ”     

 

විස්තර:- මිශ්‍ර‍-අමිශ්‍ර‍ භේදයෙන් විවිධ වූ ප්‍ර‍තිසන්‍ධිය පිළිබඳ අනතුරුවැ ඉපිද නිරුද්ධ වූ චුතියෙක් වී නම් ඒ චුති - ප්‍ර‍තිසන්ධීන් ගේ මේ ස්කන්‍ධ-ආලම්බනාධීන් හා භෙද-අභෙද විශේෂය මෙසේ දතයුතු යනු අර්‍ථයි.   

 

කෙසේද, කිසිකලෙක චතුස්කන්‍ධ ආරූප්ප චුතියට අනතුරුවැ චතුස්කන්‍ධ වූ ම අරමුණු හෙයිනුදු අභින්නවූ ප්‍ර‍තිසන්‍ධිය වේ.

 

(ඒ ඇරූතලයෙන් සැවැ එහිම උපදනවුන් සඳහා මේ කී)

 

විශේෂ:- අරූපභවයෙන් සැවැ යට - යට අරූතලයෙහි හෝ රූපාවචරයෙහි හෝ නූපදී. මතු අරූතලයෙහි ද කාම භවයෙහි ත්‍රිහේතුක ප්‍ර‍තිසන්‍ධිකව ද උපදී.

 

කිසිකලෙක (අමහග්ගත බහිද්ධාරම්මණ) ප්‍ර‍ථම - තෘතීයා රූප්‍ය චුතියට අනතුරුවැ (මහග්ගත අජ්ඣත්තාරම්මණ) ද්විතීය චතුර්‍ථාරූප්‍ය ප්‍ර‍තිසන්‍ධිය වේ. මේ අරූප භූමියෙහි ක්‍ර‍මය යැ.

 

කිසිකලෙක චතුස්කන්‍ධ වූ ආරූප්‍ය චුතියට අනතුරුවැ පඤ්චස්කන්‍ධ වූ කාමාවචර ප්‍ර‍තිසන්‍ධිය වේ.

 

කිසිකලෙක පඤ්චස්කන්‍ධ වූ කාමාවචර චුතියට ද, රූපාවචර චුතියට ද අනතුරුවැ චතුස්කන්‍ධ වූ ආරූප්‍ය ප්‍ර‍තිසන්‍ධිය වේ.

 

ඇතැම් කාමසුගති චුතියට අනතුරුවැ ඇතැම් දුගති පටිසන්‍ධි වේ.

අහේතුක චුතියට අනතුරුවැ සහේතුක ප්‍ර‍තිසන්‍ධි වේ.

දුහේතුක චුතියෙන් ත්‍රිහේතුක ප්‍ර‍තිසන්‍ධි වේ.

උපෙක්ඛා සහගත ද චුතියෙන් සෝමනස්ස සහගත පටිසන්‍ධි වේ.

අප්‍රීතික චුතියෙන් සප්‍රීතික ප්‍ර‍තිසන්‍ධි වේ.

අවිතර්‍ක චුතියෙන් සවිතර්‍ක ප්‍ර‍තිසන්‍ධි වේ.

අවිචාර චුතියෙන් සවිචාර ප්‍ර‍තිසන්‍ධි වේ.

 

අවිතර්‍ක-අවිචාර චුතියෙන් සවිතර්‍ක - සවිචාර ප්‍ර‍තිසන්ධිය වේ යැයි ඒ ඒ කීවානට විපරිත වශයෙන් යෙදෙන යෙදෙන පරිදි යෙදිය යුතු.

 

(විස්තර සුගමයි, මේ චුතියට අනතුරුවැ ප්‍ර‍තිසන්‍ධි ස්කන්‍ධ ආලම්බන- ගති - හේතු-වේදනා-පීති-විතක්ක-විචාර භේදයෙන් වන සේ කී)

 

“මෙසේ ලද පසැති මෙ දම් මත බවතුරු*[691] යේ

හේ ඉන් බවතුරු නොයේ - නො වේ ඉනුදු අහේනෙන්”

 

“මෙසේ මේ ලබන ලද ප්‍ර‍ත්‍යය ඇති මේ රූපා‘රූප ධර්‍මමාත්‍ර‍ය භාවාන්තරගත වේ. ප්‍ර‍තිසන්‍ධි විඥානය ඒ පූර්‍ව භවයෙන් භවාන්තර සංක්‍ර‍මනය නො වේ. ඒ අතීත භවයෙන් හේතුවක් නැතිවැ පහළ වන්නේ ද නොවේ.”

 

විස්තර:- මේ කී සේ ලබන ලද අවිද්‍යාදී ප්‍ර‍ත්‍යය ඇති (මේ ප්‍ර‍තිසන්‍ධි විඥානය) රූපා‘රූප ධර්‍මමාත්‍ර‍ය ඉපදීම් වශයෙන් භවාන්තර ගත වේ. බාහිර පරිකල්පිත (ආත්මයෙක් නැති) සත්ත්‍වයෙක් හෝ ජීවයෙක් හෝ භවාන්තරගත වේ. ඒ විඥානයා ගේ ද අතීත භවයෙහි මේ භවයට සංක්‍ර‍මණයෙක් නැති. අතීත භවයෙහි හේතුවක් නැතිවැ මේ භවයෙහි පහළ වීමෙකුදු නැති. (මෙය මනුෂ්‍ය චුතියෙන් හා ප්‍ර‍තිසන්‍ධියෙන් ප්‍ර‍කට කෙරේ.)

 

ඒ මෙසේ යි:- අතීත භවයෙහි ක්‍ෂය වූ ආයුසංස්කාර ඇතිවැ හෝ තමා ගේ හෝ මෙරමාගේ හෝ උපක්‍ර‍මයෙකින් ආසන්න මරණ ඇතියහු ගේ සියලු අඞ්ගප්‍ර‍ත්‍යඞ්ග බන්‍ධනයන් සිඳුනා මාරණාන්තික වේදනා නමැති ශස්ත්‍ර‍ ප්‍ර‍හාරයන් නො ඉවසිය හැක්කාහු ගේ සිරුර අව්වෙහි බහාලු අලුත් තල්පතක් සේ ක්‍ර‍මයෙන් වියළෙන කල චක්‍සුරාදි ඉන්‍ද්‍රියයන් නිරුද්‍ධවැ ගිය කල්හි කායින්‍ද්‍රිය, මනින්‍ද්‍රියයන් හෘදයවස්තු ප්‍රදේශ මාත්‍රයෙහි පිහිටි කල්හි එකෙණෙහි ශේෂ හෘදය වස්තුව ඇසුරු කළ විඥානය, මාතෘඝාතකාදී ගරුකර්‍මය, නැවත නැවත සමාසේවිත ආචීණීකර්‍මය, ආසන්නකර්‍මය පූර්‍ව භවයෙහි කරන ලද අපරාපරියවෙද්‍ය වශයෙන් එළඹ සිටි කටත්තකර්‍මය යන මොවුන් අතුරින් එකක් ලබනලද අවිද්‍යාදී අවශේෂ ප්‍ර‍ත්‍යය ඇති සඞ්ඛාර සඞ්ඛ්‍යාත කර්‍මය හෝ ඒ කර්‍මය විසින් එළවන ලද කර්‍මනිමිත්තය, ගතිනිමිත්තයැ යි කියන ලද විෂය අරභයා පවතී. (අතීතයෙහි කල්ප කෝටි ශතසහශ්‍ර‍ මස්තකයෙහිදු කර්‍මයෝ විපාක කාලයෙහි අවුත් කර්‍මය හෝ කර්‍ම නිමිත්තයන්වැ වැටහෙති යනු සන්‍යයි.)

 

ගති නිමිත්ත නම් උපදනා ස්ථානයෙහි යම් කිසි වර්‍ණයෙකි. මෙසේ පවත්නා ඒ විඥානය තෘෂ්ණා-අවිද්‍යා අප්‍ර‍හීණ බැවින් අවිද්‍යාවෙන් මුවහකළ ආදීනම ඇති ඒ කර්‍මාදී විෂයෙහි අතෘෂ්ණාව ප්‍ර‍තිසන්‍ධි ස්ථානයට අභිමුඛකොට නමයි. චුති චිත්තයට ආසන්න ජවන් සිතෙහි පැවැති චේතනාව හෝ සහජාත ඵස්සාදි චෛතසික හෝ ප්‍ර‍තිසන්‍ධියට ස්ථානවූ කර්‍මාදි විෂයෙහි විඥානය බහාලන්නාක් මෙන් වේ. ඒ ප්‍ර‍තිසන්‍ධි විඥානය චුති-ප්‍ර‍තිසන්‍ධි තදාසන්න විඥානයන්ගේ සන්තති වශයෙන් (පෙළගැසීම් වශයෙන්) පමුණුවන ලද එකත්‍ව ඇත්තේ තෘෂ්ණාව විසින් නමනු ලබන්නේ සංස්කාරයන් විසින් බහාලනු ලබන්නේ මෙතෙර ගසක බඳනා ලද රැහැනක එල්බ සිටි තැන හැර ඇළ ඉක්ම එතෙර පිහිටන පුරුෂයකු සේ පළමු භවයෙහි පැවැති නිශ්‍ර‍ය වස්තු රූපය පඤ්චවෝකාර භව වශයෙන් ආස්වාදනය කරමින් හෝ චතු වෝකාර භව වශයෙන් ආස්වාදනය නො කෙරෙමින් හෝ ආලම්බනාදී ප්‍ර‍ත්‍යය ශක්තීන් හේතු කොට ගෙන පවතී.

 

මෙහි පූර්‍ව චිත්තය මේ භවයෙන් ගිළිහෙන හෙයින් චුතිය යි ද, පශ්චිම චිත්තය අන්‍ය භවයක් හා ගළපන හෙයින් ප්‍ර‍තිසන්‍ධිය කියනු ලැබේ.

 

ඒ ප්‍ර‍තිසන්‍ධි චිත්තය පූර්‍ව භවයෙන් මෙහි පැමිණියේ නො වෙයි. පූර්‍ව භවයේ ප්‍ර‍තිසන්‍ධි ජනක කර්‍මය මරණාසන්න ජවන් සිත් හා සම්පයූක්ත සංස්කාරය නැමීම් වශයෙන් පැවැති තෘෂ්ණාවය කර්‍මනිමිත්තාදි විෂයය යන හේතූන්ගෙන් තොරවැ පහල නොවූයේ යයි දතයුතු-

 

(විස්තර:- මෙසේ තෘෂ්ණාවෙන් නැමීමය යනාදීන් නැමීමය, බහාලීමය, පූර්‍වනිශ්‍ර‍ය හැරීමය, අපර නිශ්‍ර‍ය ගැනීම ය, නිශ්‍ර‍ය රහිත නො පැවැත්මය යන මොහු සන්තති වශයෙන් එකම විඤ්ඤාණයාගේ අවස්ථා භේදයෝ යි. මෙයින් “තදෙවිදං විඤ්ඤාණං සන්‍ධාවති සංසරති අනඤ්ඤං[692] යි ‘ඒ මේ එකම විඤ්ඤාණය භවයෙන් භවයට දුවයි, සැරිසරයි, අනෙකක් නොවේය යි” පැවති ශාස්වතවාදය බැහැර කෙරේ.

 

මෙහි උපමාන උපමේය සංසන්‍දනය

 

මෙතෙර ගසෙහි බැඳි අත්ත මෙන් පූර්වභව (ආත්ම භාව) ය පිළිබඳ කර්මාදි ආලම්බන දත යුතු. පුරුෂයා මෙන් විඤ්ඤාණය ද, ඔහුගේ ඇළ ඉක්මවන රිසිය සේ තෘෂ්ණාව ද, ඇළ ඉක්මවන ප්‍රයෝගය සේ බහාලන චේතනාදිය සංස්කාරය ද, ඒ පුරුෂයා එතෙර පොළොවෙහි පිහිටන්නේ එතෙර රුක්හි බැඳි රැහැන් ආදියක් ගන්නා සේ පඤ්චවොකාර භවය ද, නො ගන්නා සේ වතුවෝකාර භවය ද, ස්වකීය බලයෙන් පොළොවෙහි පිහිටන්නා සේ ආලම්බන සම්පයුක්ත ධර්මයෙන්ම පැවැත්ම ද දත යුතු. මේ දෙ සිත් අතුරින් පළමු සිත චුතවන හෙයින් චුති නමි. පසු සිත අන්‍ය භවය ගළපන හෙයින් පටිසන්‍ධි නමි. පටිසන්‍ධි සිත පූර්ව භවයෙන් මේ භවයට ආයේ නොවේ. ඒ පූර්‍ව භවයෙහි (කර්‍ම) චුත ආසන්න ජවය චිත්තයෙහි වූ සඞ්ඛාරය නමින් තෘෂ්ණාය, කර්මනිමිත්තාදි විෂයය ද යන හේතු නැතිව පහළ වූයේ ද නො වේ.

 

“සිත් පරපුරමුත් - එකත් තනත්*[693] නො වන බවැ

පිළිගොස - පහන් ඈනන් - නිදසුන් වෙතියි දන්නේ”

 

තවද මේ ප්‍ර‍තිසන්‍ධි විඤ්ඤාණය පූර්ව භවයෙන් මේ භවයට නො ඊමෙහිද, ඉකුත් භවයෙහි පැවති හේතූන් නිසා උපන් බව්හි ද, ප්‍රීතිඝෝෂා - ප්‍ර‍දීප - මුද්‍රා ප්‍ර‍තිබිම්බ යන මේ ආකාර ධර්මයෝ නිදර්ශන වෙති’

 

මෙසේ ප්‍ර‍තිරාවය, ප්‍ර‍දීපය, මුද්‍රාවය, ඡායාව යන මොවුහු ශබ්දාදි හේතුන්ය නිසා පවතිත්.

 

ඒ එසේ මැයි:- ප්‍ර‍තිරාවය ශබ්දය නිසාද, ප්‍ර‍දීපය අන්‍ය ආලෝකයක් නිසාද, මුද්‍රාව සීල් එක නිසා ද, ප්‍ර‍තිරූපය ආදර්ශාදිය අභිමුඛවීම නිසා ද තුබූතන්හි තිබියදීම වේ.

 

මොවුන් ගේ ප්‍ර‍ත්‍යය - ප්‍ර‍ත්‍යයොත්පන්න භාවය ඇති කල්හි සන්තානබද්ධ භාවයට ප්‍ර‍කට නොවේ. ඔවුන් ඒකත්‍ව නානාත්‍ව භාවය පරාමර්‍ශනය නො කොට අතීත භවයෙන් අනාගමනය හා අතීත භවයෙහි වූ හේතුවෙන් උපන් බව මෙයින් ප්‍ර‍කට කෙරේ. ශබ්දය බැහැර අනුනාදය පවත්නා තැනට නො ගොස් එය පැවැත්මට හේතු වන්නේ ය. ශබ්දයට පෙරැ ප්‍ර‍තිරාවය නො වූ හෙයිනි. මෙසේ ම මේ ප්‍ර‍තිසන්‍ධි චින්තනය ද පූර්‍වභවයෙන් මේ භවයට ආයේ ද නොවේ. පූර්‍ව භවයෙහි හේතුන් විනා උපදනේ ද නොවේ.

 

මේ චුති - ප්‍ර‍තිසන්‍ධි සිත් හි ද, පරම්පරා සම්බන්ධයෙහි ද ඒකත්වයෙකුදු නැති.

 

පරම්පරා සම්බන්ධය ඇති හෙයින් නානාත්‍වයෙකුදු නැති.

 

නිදර්ශන :- පරම්පරා සම්බන්ධයෙහි ඒකාන්තයෙන් ඒකත්වයෙක් වේ නම් කිරෙන් දී හට නො ගනී, එසේ ම ඒකාන්ත නානාත්වය වේ නම් දී, කිරි අයත් නොවේ. (ක්‍ෂීර ස්වාමියාට දී අයත් නොවේ) බීජ-අඞ්කුරාදි හේතු හා හේතු සමුත්පන්න ධර්මයන්හි ද මෙසේ මැයි, මෙසේ පවත්නා සියලු ලෝක ව්‍යවහාරය අප්‍ර‍සිද්ධ වේ. හෙද අනිෂ්ට ය, එහෙයින් සියලු ලෝක ව්‍යවහාරය අසිද්ධ වේ. හෙච අනිෂ්ටය, එහෙයින් මේ සන්තාන බද්ධ හේතු හේතු සමුත්පන්නයන් ගේ ඒකාන්ත එකත්‍වය හෝ නානාත්‍වය නො ගත යුතු.

 

විශේෂ : මෙහි ඒකාන්ත ඒකත්‍වවාදය ප්‍ර‍තික්‍ෂේප කළ හෙයින් “සයං කතං සුඛ දුක්ඛං” සුව දුක් තෙමේ ම කෙළේය” යන ශාස්වත ග්‍ර‍හණය ප්‍ර‍තිෂෙධ කෙරේ.

 

එකාන්ත නානාත්‍වය ප්‍ර‍තිෂේධ කළ හෙයින් “පරං කතං සුඛ දුක්ඛං” මෙරමා සුවදුක් කෙළේය’ යන උච්ඡෙද දෘෂ්ටිය ද “අඤ්ඤො කරොති අඤ්ඤෙ පටිසංවෙදෙති” අනෙකෙක් කෙරේ අනෙකක් විපාක විඳී’ යන මේ දෘෂ්ටිය ද වළකා එයින් කෘත ප්‍ර‍නාශය හා අකෘතාගමනය ද නිවෘත්ත වේ.

 

හේතූ :- හේතුසමුත්පන්න වචනයෙන් අධිව්වසමුප්පන්න වාදය වළකා, මෙයින් ම නියතිස්වභාවවාදය ද නිරස්ත යැ.

 

ප්‍ර‍ශ්නයෙකි :- මෙසේ නො ගොස්ම ඉපදු ම ඇතිකලැ මේ මිනිසත් බවෙහි පැවති ස්කන්‍ධ නිරුද්ධ වූ බැවින් ඵලයට ප්‍ර‍ත්‍යය වූ කර්මය ද ඒ ඵලය උපදනා තැනට නො යන හෙයින්ද, කර්මය කළ තැනැත්තහු කෙරෙන් අනෙකක් හට ඒ ඵලය වන්නේ නොවේ ද, ඵලය අනුභව කරන්නකු නැති කල්හි ඒ ඵලය කවකුහට වේද, එහෙයින් මේ විධානය නො මැනවි නොවේද.

 

පිළිතුර :- “පරපුර නිපන් පල - අන්හට අනෙකින් නොවැ,

           බිජුවට සකස් කළ සේ - මෙ අරුතට නිදසුන් වේ.”

 

විස්තර - එක් සන්තතියෙකැ කර්මය නිපන් පෙළෙහි ම උපදනා ඵලය ඒ එකම සන්තතියෙහි නියමයෙන් ම ඒකත්‍වය ද, නානාත්‍වය ද වැළකූ හෙයින් කර්මය සකස් කළහු කෙරෙන් අනෙකක්හට විපාකය වේ යයි හෝ ඒ කර්මයෙන් අන්‍ය හේතුවකින් (අනෙකකු කළ කර්මයක් හේතු කොට ගෙන) ඒ විපාකය වේ යයි හෝ කිවයුතු නො වේ. මේ අදහසට අඹ බිජු ආදිය චතු මධුරාදියෙහි යොදා කළ සංස්කාරය (සක් කිරීම) සාධක ය.

 

නිදර්ශන :- චතුමධුරයෙහි ලා සකස් කළ අඹ බිජුවට සෘතුජ රූප පරම්පරාවෙහි ලබන ලද ඵල විශේෂ ඇතිවැ කාලාන්තරයෙකින් ආම්‍රාදි ඵල උපදනේ අන්‍ය බීජයන් ගේ ඵල නූපදනේ යි. ඒ බිජුවට ද, ඒ සකස් කිරීම් ද, ඵල ස්ථානයට ද නො පැමිණේ.

 

උපමාන - උපමෙය සංසන්‍දනය :- සකස් කළ බීජයන් මෙන් කර්මය කළ සත්ත්වයා ද, සකස් කිරීම මෙන් කර්මය ද, බීජයා ගේ අඞ්කුරාදි පරපුර මෙන් සත්ත්වයා ගේ ප්‍ර‍තිසන්ධි විඥානාදි සන්තතිය ද, එයින් හටගත් ඵලයා ගේ බිහිරි බව ඒ සකස් කිරීමෙන් වවාක් මෙන් කර්මය කළා වූ සත්ත්වයා ගේ ම ඒ කර්මයෙන් විපාකය ඉපදීම ද දත යුතු.

 

අනෙකකුදු ඇති :- ළදරු කල පුහුණු කල ශිල්පශාස්ත්‍රාදිය ද, යෙදූ ඖෂධාදිය ද, කාලාන්තරයෙහි වැඩුණු කල ද එම වෘද්ධ ශරීරයෙහි ඵල දීම ද මෙයට සාධක යැ. ළදරු සිරුරෙහි කළ ශිල්පාභ්‍යාස - ඖෂධ ප්‍රයෝග වෘද්ධ ශරීරයට සන්තති පර්‍ය්‍යපන්න හෙයින් පිහිටන්නේ යි නීරොග බව් සාධන්නේ යි. ඒ විද්‍යාභ්‍යාසාදිය නැති හෙයින් කල නො පිහිටන හෙයින් අන්‍ය හේතුවකිනුදු නො වන්නේ යි. මෙ සේ නාම - රූප සන්තති වශයෙන් පවත්නා ප්‍ර‍තිසන්ධි සඞ්ඛ්‍යාත ඵලයන් කර්ම රැස්කළ සන්තතියටම මුත් අනෙකකට නොවේ. එසේ ම සකස් කළ කර්ම හේතුවෙන් ම මුත් අනෙක් හේතුවකිනුදු නො වේ. අන්‍යසන්තානගත කර්ම හේතුවකිනුදු නොවේ.

 

තවද ප්‍ර‍ශ්නයෙකි :- ඵල අනුභව කරන්නෙකු නැතිකළ ඵලය කවරෙකුට වේ ද?

 

(විපාක විඳින්නකු නැති කල විපාකය කවරෙකුට වේ ද යනු ආසය යි.)

 

පිළිතුර :- “පල ඉපදුණු මතින් - බුදුනෙකැයි බැවහර වේ.

           පල හටගැනුමෙන් ම රුකැ - පල ගනිතැයි කියන වැනි”

 

විස්තර :- රුකයයි ව්‍යවහාරයට කාරණ වූ (රුක නම් වූ) රූපධර්මයන්ගේ එක් අවයවයක් වූ ගෙඩිය හට ගැනීමෙන් ගස් පලගනිය යි කියන්නා සේ දිව්‍ය මනුෂ්‍ය නම් වූ ස්කන්ධයන් ගේ එක දේශයක් වූ අනුභව කිරීම නම් වූ සුවදුක් විපාකය (ඵලය ඉපැද්දීමෙන් ම දෙවියෙක් හෝ මිනිසෙක් හෝ සැප වළඳයි සැපතට පැමිණෙයි. දුකට පැමිණේයැයි කියනු ලැබේ.)

 

(මෙසේ මේ ස්කන්ධ සන්තතියෙහි කුසල - අකුසල චේතනා උත්පත්තියක්අ ැති කල පින් පව් කෙරේය යි කර්තෘව්‍යවහාරය ද ඒවායේ ඵලෝත්පත්තිය 6විපාක) ත් ඇති කළ එම සන්තානය සැප දුක් විඳීය යි උපභුඤ්ජක ව්‍යවහාරය ද, වන හෙයින් මේ සන්තානයෙහි අනුභව කරන්නා වූ අන් කිසිවකු ගෙන් අර්ථයෙක් නැති)

 

ප්‍ර‍ශ්නයෙකි :- මෙසේ වන්නා මේ සංස්කාරයෝ විද්‍යමාන වූවෝ ම ඵලයට ප්‍ර‍ත්‍යය වෙද්දී ද අවිද්‍යාමාන වූ වෝ ඵලයට ප්‍ර‍ත්‍යය වෙද්ද

 

පිළිතුර :- විද්‍යමාන වූවෝ ඵලයට ප්‍ර‍ත්‍ය වෙත් නම් ඒ සංස්කාරයන් ගේ වර්තමානක්‍ෂණයෙහි ම විපාක විය යුතු ය. අවිද්‍යාමානවූවෝ ඵලයට පැමිණ ප්‍ර‍ත්‍යය වෙත් නම් කර්මය කිරීමට පෙර ද විපාක විය යුතු ය. පසුව ද විපාක විය යුතු. නිතරම ද විය යුතු. එහෙයින් (ඕ හට මෙසේ පිළිතුරු දිය යුතු)

 

“කෙළෙන් මේ පස වේ - නිතර පල දෙනු නොද වේ

ඇප වී ණය ගැනුම මෙහි - නිදසුන් ලෙසින් දන්නේ”

 

විස්තර :- මේ සංස්කාර කළ හෙයින් තම - තමාගේ ඵලයට ප්‍ර‍ත්‍යය වනු විනා විද්‍යාමාන බැවින් හෝ අවිද්‍යාමාන බැවින් හෝ නොවේ.

 

එයින් වදාළහ, “කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිත්තතා විපාකං චක්ඛුවිඤ්ඤාණං උප්පන්නං හොති”[694] ‘කාමාවචර කුශල කර්මය කළ හෙයින් රැස්කළ හෙයින් විපාකය වූ චක්ඛුවිඤ්ඤාණය උපන්නේ වේ’ යනාදියයි ඒ සංස්කාර තමහට සුදුසු ඵලයට ප්‍ර‍ත්‍ය වැ නැවත ඵල උපදව්නනේ නොවේ, දෙන ලද විපාක ඇති හෙයිනි.

 

මේ අර්ථය හැඟවීමට මේ ඇපවීම් ආදිය නිදර්න වේ යයි දත යුතු.

 

ඒ මෙසේ යි:- ලෙව්හි යම්කිසිවෙක් යම් කිසි වස්තුවක් ඒ වෙනුවට දීම සඳහා ඇප වී බඩුවක් හෝ ගනී, ණයක් හෝ ගනී, ඔහුගේ ඒ ක්‍රියා මාත්‍ර‍ය ම ඒ වස්තු දීම සඳහා ප්‍ර‍ත්‍යය වේ. හුදෙක් ඒ ඇපවීම් ආදී ක්‍රියාව විද්‍යාමාන බව හෝ අවිද්‍යාමාන බව හෝ කරුණු නොවේ, ඒ ණය ගෙවීම් ආදියෙන් මත්තෙහි ණය දරන්නේ ද නොවේ. ණය ගෙවීම් ආදිය කළ හෙයිනි.

 

මෙ සේ කළ හෙයින් ම සංස්කාරයෝ තමා ගේ ඵලයට ප්‍ර‍ත්‍යය වෙති, සුදුසු සේ විපාක දානයෙන් පසු මතුයෙහි ද විපාක දෙන්නෝ නො වෙති. මෙතෙකින් රූප මිශ්‍ර‍-අමිශ්‍ර‍ වශයෙන් දෙපරිද්දෙකින් පවත්නා ප්‍ර‍තිසන්ධි විඥානයා ගේ සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් පැවැත්ම දක්වන ලදී.

 

දැන් ඒ දෙතිස් විපාක විඥානයා ගේ මුළාව දුරු කිරීම පිණිස මේ කියා,

 

“පිළිසිඳ හා පවත්*[695] විසින් බව - යොන් ඈහී

සකර යමකට යම් සේ - පසවෙද එසේ දන්නේ”

 

(මෙහි භව තුනෙකි, යෝනි සතරෙක, ගති පසෙකි, විඤ්ඤාණඨිති සතෙකි, සත්තාවාස නවයෙකි)

 

මේ භවාදියෙහි මේ සංස්කාර ප්‍ර‍තිසන්ධියෙහි ද, ප්‍ර‍වෘත්තියෙහි ද, යම් විපාක විඥානයකට ප්‍ර‍ත්‍ය වේ නම් යම් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ නම් ඒ එසේ දත යුතු යැ යන අර්ථයයි.

 

කෙසේ ද යත් :- පළමුවැ පුණ්‍යාභිසංස්කාරයන් අතුරින් අට කාමාවචර චේතනා භේදය වූ පුණ්‍යාභිසංස්කාර නොවෙනස්වැ ‘ත්‍රිහේතුක කර්ම ත්‍රිහේතුක විපාක දේ’ යනාදි ක්‍ර‍මයෙන් සාමාන්‍යයෙන් කාම සුගති භවයෙහි නව විපාක විඤ්ඤාණයට ප්‍ර‍තිසන්ධි කාලයෙහි නානාක්‍ෂණික කර්මප්‍ර‍ත්‍යයෙන් ද, උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන්දැයි දෙපරිද්දෙකින් ප්‍ර‍ත්‍යය වේ.

 

රූපාවචර කුසලචේතනා පස වූ පුණ්‍යාභිසංස්කාර රූප භවයෙහි ප්‍ර‍තිසන්ධි කාලයෙහි ම පඤ්චවිධ විපාක විඥානයට ඒ දෙපරිද්දෙන්ම ප්‍ර‍ත්‍යය වේ.

 

යට කී කාමාවචර පුණ්‍යාභිසංස්කාර සුගති කාමභවයෙහි උපේක්ඛාසහගත අහේතුක මනෝ විඤ්ඤාණ ධාතුව (උපේක්ඛා සහගත සන්තීරණ) හැර සත් අහේතුක විපාක විඥානයට නානාක්‍ෂණික කර්ම ප්‍ර‍ත්‍යයෙන් හා උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය නො වේ. හේම රූප භවයෙහි චක්ඛු - සෝත - සම්පටිච්ඡන - සන්තීරණ යන පස් විපාක විඥානයට එසේම ප්‍ර‍වෘත්තියෙහි ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි නොවේ. දුගිතී කාම භවයෙහි අහේතුක විපාක විඤ්ඤාණ අට එසේ ප්‍ර‍වෘත්තියෙහි ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි ප්‍ර‍ත්‍යය නොවේ.

 

විස්තර - (එහි) නිරයෙහි මහමුගලන් තෙරුන් නරක චාරිකාදියෙහි සෘද්ධියෙන් වැසි වස්වා නිරෑ ගිනි නිවා මොහොතක් ධර්මදේශනා කරන කල්හි ඒ කාමාවචර පුණ්‍යාභිසංස්කාර අට පරිනත විපාකයට ප්‍ර‍ත්‍යය වේ. මහා සෘද්ධි ඇති නාග සුපර්ණාදි තිරිසනුන් හා ප්‍රේතයන් විෂයෙහි ද ඉෂ්ටාලම්බන ලැබේමය.

 

ඒ කාමාවචර පුණ්‍යාභිසංස්කාර අට කාම සුගතියෙහි සොළොස් (16)  කුශල විපාක විඥානයට එකසේ ම ප්‍ර‍වෘත්ති ප්‍ර‍තිසන්ධි දෙක්හි ම  ප්‍ර‍ත්‍යය වේ.

 

(විශේෂ - ප්‍ර‍තිසන්ධි විපාක නවයට ප්‍ර‍තිසන්ධියෙහි ද සියල්ලට ප්‍ර‍වෘත්තියෙහි ද ප්‍ර‍ත්‍යය වේ.)

 

සියලු කාමාවචර - රූපාවචර පුණ්‍යාභිසංස්කාර රූප භවයෙහි යට කී කාමාවචර පස ද, රූපාවචර පස ද යන) දස විපාක විඥානයට ප්‍ර‍වෘත්ති - ප්‍ර‍තිසන්ධි දෙක්හි ම ප්‍ර‍ත්‍යය වේ.

 

විශේෂ - කාමාවචර පස ප්‍ර‍වෘත්තියෙහි ද, රූපාවචර පස් ප්‍ර‍වෘත්ති - ප්‍ර‍තිසන්ධි දෙක්හිම ද ප්‍ර‍ත්‍යය වේ.)

 

දොළොස් අකුසල චේතනා වූ අපුණ්‍යාභිසංස්කාර කාම දුගති භවයෙහි එක් විපාක විඤ්ඤාණයකට ප්‍ර‍තිසන්ධියෙහි ද සයකට ප්‍ර‍වෘත්තියෙහි ද ප්‍ර‍ත්‍යය වේ.

 

උපෙක්ඛා සසහගත අකුසල විපාක සන්තීරණය හැර අනෙක් සයට ප්‍ර‍වෘත්තික්‍ෂණයේ ද්වාදශ අකුශලය ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි ප්‍ර‍ත්‍යය නොවේ.

 

සත් අකුසල විපාක විඥානයට ම ප්‍ර‍ත්‍යය වන බැවින් සදෙනෙකුට ප්‍ර‍වෘත්තියෙහිදු එකකට ප්‍ර‍වෘත්තියෙහි හා ප්‍ර‍තිසන්ධියෙහි ද ප්‍ර‍ත්‍යය වේ. කාම සුගති භවයෙහි එම අකුසල විපාක සතටම එසේම ප්‍ර‍වෘත්තියෙහි ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි නොවේ.

 

රූප භවයෙහි චතුර්විධ (චක්ඛු සොත - සම්පටිච්ඡන සන්තීරණ) අකුසල විපාක විඥානයනට ප්‍ර‍වෘත්තියෙහි ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි නොවේ.

 

විශේෂ - ඒ වූ කලී රූප භවයෙහි අනිෂ්ට රූප දර්ශන ශබ්ද ශ්‍ර‍වණ නැති හෙයින් කාම භවයෙහි වේ. කාමාවචර දිව්‍ය ලෝකයෙහි ද අනිෂ්ට රූප ශබ්ද නැත. පූර්ව නිමිති වශයෙන් මලානික මල්මාලාදි අනිෂ්ටාලම්බන වශයෙන් කිසි කලෙක ලැබේ.

 

ආනෙඤ්ජාභිසංස්කාරය අරූප භවයෙහි සතර විපාක විඥානයට එසේම ප්‍ර‍වෘත්ති - ප්‍ර‍තිසන්ධියන්හි ප්‍ර‍ත්‍යය වේ.

 

මෙසේ සංස්කාර කාමාදි භවත්‍රයෙහි ප්‍ර‍තිසන්ධි - ප්‍ර‍වෘත්ති වශයෙන් යමකට ප්‍ර‍ත්‍යය වේ නම්, යම් සේ ප්‍ර‍ත්‍යය වේ නම් එසේ ද දත යුතු.

 

යෝනි ආදියෙහි පැවැත්ම ද මේ නයින් ම දත යුතු. මේ ලෙස මාත්‍රයෙකි, මොවුනතුරින් පුණ්‍යාභිසංස්කාර, කාම - රූප භවයන්හි පිළිසිඳ දී තමා සියලු විපාක උපදවයි.

 

එසේම අණ්ඩජාදි සතර යෝනියෙහි ද, දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි ද, සියලු කාම සුගති සඞ්ඛ්‍යාත නානත්ත කායා නානත්තසඤ්ඤිවිඥානස්ථිතියෙහි ද, ප්‍ර‍ථමධ්‍යානභූමි සඞ්ඛ්‍යාත නානාත්ත කායා එකත්ත සඤ්ඤ විඥානස්ථිතියෙහි ද, ද්විතීය ඥාන භූමි සඞ්ඛ්‍යාත එකත්තකායානානත්තසඤ්ඤි විඥානස්ථිතියෙහි ද, තෘතීයාධ්‍යාන භූමි හා වෙහප්ඵල සඞ්ඛ්‍යාත එකත්තකායා එකත්තසඤ්ඤා විඥානස්ථිතියෙහිදැයි සතර විඥාන ස්ථිතියෙහි ද, (අසංඥ සත්ත්‍වාවාසයෙහි වනාහි මේ පුණ්‍යාභි සංස්කාරය රූප මාත්‍ර‍ය ම සංස්කරණය කරන හෙයින්) සතර සත්ත්‍වාවාසයෙහිම ප්‍ර‍තිසන්‍ධි දී තමා ගේ සියලු විපාක දනවයි.

 

එහෙයින් මේ පුණ්‍යාභිසංස්කාරය භව දෙකෙහි ද, චතුර්‍යොනියෙහි ද, දෙගතියෙහි ද, සතර විඥාන ස්ථිතියෙහි ද, සතර සත්ත්‍වාවාසයෙහි ද විසි එක් (21) විපාක විඥානයනට නානාක්‍ෂණික කර්මප්‍රත්‍යයෙන් හා උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන්‍ හා ප්‍ර‍ත්‍යය වේ.

 

නිශ්චය - කාමාවචර - රූපාවචර විසින් එක් (21) කුශල විපාක විඥානයන් අතුරින් තුදුස් (14) දෙනෙකුන්ට ප්‍ර‍තිසන්ධි ප්‍ර‍වෘත්ති දෙක්හි ම ප්‍ර‍ත්‍යය වේ. සත් දෙනෙකුන්ට ප්‍ර‍වෘත්තියෙහි ම ප්‍ර‍ත්‍යය වේ.

 

අපුණ්‍යාභිසංස්කාරය, එකම (කාම) භවයෙහි ද, සතර යෝනියෙහි ද, නරක - තීර්‍ය්‍යයක් - ප්‍රේත, ගති තුනෙහි ද, ‘නානත්තකායා එකත්ත සඤ්ඤී’ යන එකම විඥාන ස්ථිතියෙහි ද එබඳු එකම සත්ත්‍වාසයෙහි ද ප්‍ර‍තිසන්ධි වශයෙන් විපාක දේ.

 

මෙසේ අපුණ්‍යාභි සංස්කාර මෙකී තාක් තන්හි සප්ත විඥානයනට ප්‍ර‍තිසන්ධි - ප්‍ර‍වෘත්තීන්හි නානාක්‍ෂණික කර්මප්‍ර‍ත්‍යයෙන් හා උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන් හා ප්‍ර‍ත්‍යය වේ.

 

ආනෙඤ්ජාභිසංස්කාරය - එකම අරූප භවයෙහි එකම ඕපපාතික යෝනියෙහි ද, එකම දේවගතියෙහි ද, ආකාසානඤ්චායතනාදී විඥානස්ථිති තුනෙහි ද, ආකාසානඤ්චායතනාදී සතර සත්ත්‍වාවාසයෙහි ද ප්‍ර‍තිසන්ධි වශයෙන් විපාක දේ.

 

මෙසේ එකම භවයෙහි, එකම යෝනියෙහි, එකම ගතියෙහි, විඥාන ස්ථිති තුනෙහි, සතර සත්ත්‍වාවාසයෙහි, සතර විඥානයන්ට කර්ම ප්‍ර‍ත්‍යයෙන් හා උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන් හා ප්‍ර‍තිසන්ධි ප්‍ර‍වෘත්ති දෙක්හි ප්‍ර‍ත්‍යය වේ.

 

“පිළිසඳ ද පැවැතුම් - විසිනා බව ඈහි මේ

සකර යමකට යම් සේ - පසවෙද එසේ දන්නේ”

මේ “සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං” යන්නෙහි විස්තර කථාවයි.

 

3. විඥාන ප්‍ර‍ත්‍යයෙන් නාම-රූප වේ යන පදයෙහි -

 

1.  නාම රූප විභාග සෙයින් ද

2.  භවාදීන්හි පවත්නා ආකාරයෙන් ද

3.  සංග්‍ර‍හ හෙයින් ද

4.  ප්‍ර‍ත්‍යය නය හෙයින් ද, විනිශ්චය දත යුතු ය.

 

(1) නාමය ද + රූපය ද = නාම රූප නමි. අරමුණට අභිමුඛ වැ නැමෙන හෙයින් වේදනාදී ස්කන්ධත්‍ර‍ය නාම නමි.

 

සතර මහාභූත ද, සතර මහා භූත නිසා පවත්න සූවිසි (24) උපාදා රූප ද රූප නමි. මොවුන් ගේ විභාගය ස්කන්ධ නිර්දේශයෙහි[696] කියන ලදී. මෙසේ මෙහි පළමු කොට විභාග වශයෙන් නාම - රූපයන් ගේ විනිශ්චය දත යුතු යැ.

 

(2) භවාදීන්හි පැවැතීම් වශයෙන් මෙසේ යි.

 

නාමය එකම අසංඥ සත්ත්වාසය හැර සෙසු සියලු භව - යොනි - ගති - විඥානස්ථිති සත්වාවාසයන්හි වේ.

 

රූපය, කාම - රූප භව දෙක්හි ද, සිවු යෝනියෙහි ද, පස් ගතියෙහි ද, පළමු සතර විඥාන ස්ථිතියෙහි ද, අරූප සත්ත්වාවාසය හැර සෙසු සත්ත්වාවාස පසෙහි ද පවතී. මෙසේ පවත්නේ ද මේ නාම - රූප දෙක්හි අභාවක ගබහ සෙය්‍යකයනට ද, අණ්ඩජයනටද, ප්‍ර‍තිසන්ධි ක්‍ෂණයෙහි වස්තු - කාය - දශක වශයෙන් රූපයන් ගෙන් කලාප සන්තති දෙකක් හා අරූප ස්කන්‍ධ තුනක් ද පහළ වෙති. මෙසේ රූප ධර්ම විස්සක් (20) හා අරූප ධර්ම තුනක් දැයි තෙවිසි (23) ධර්ම කෙනෙක් විඥාන ප්‍ර‍ත්‍යයයෙන් වන නාම - රූපයෝ යැයි දත යුතු.

 

විශේෂ - අගභිත ගහණයෙන් එක රූප කලාපයකින් දෙක්හිම පවත්නා (ශුද්ධාෂ්ටකය හා ජිවිතින්‍ද්‍රිය යන) නවය හැර සෙසු රූප එකොළොස ය, නාම ධර්ම තුන දැයි තුදුස් (14) ධර්ම කෙනෙක් වෙති. සභාවකයනට භාව දසකය ද බහා තෙතිසක් (33) ද, අගහිත ගහණයෙන් (සමාන රූප අටළොසක්) (18) හැර) පසළොසක් (15) ද වේ.

 

ඕපපාතිකයන් අතුරෙන් බ්‍ර‍හ්ම කායිකයින් ගේ ප්‍ර‍තිසන්ධි ක්‍ෂණයෙහි චක්ඛු - සොත- වස්තු දශකයන් ගේ ද, ජීවිත නවකයා ගේ ද වශයෙන් රූපයෙහි සන්තති ශීර්ෂ සතරක් ද, අරූපස්කන්‍ධ තුනක් ද, පහළ වේ.

 

එහෙයින් විස්තර වශයෙන් ඔවුන්ගේ රූප-රූප වශයෙන් එකුන් සාලිස් (39) රූප හා අරූප ස්කන්ධ තුනදැයි දෙසාලිස් (42) ධර්ම කෙනෙක් විඥාන ප්‍ර‍ත්‍යයෙන් වන නාම - රූපයෝ  යැයි දත යුතු. අගහිත ගහණයෙන් රූප කලාප සත්විස්සක් (27) හැර සතළොස් (17) ධර්ම කෙනෙක් වෙති.

 

ප්‍ර‍තිසන්ධි ක්ෂණයෙහි විකාර රූප නැති, එහෙත් ලක්ෂණ රූප ඇත ද පරමාර්ථ හෙයින් ඔවුන් නො පිළිපන් හෙයින් ඔවුනුදු වර්ජනය කරනු සඳහා රූප - රූපයැ යි කීහ. ඵස්සාදිය සංස්කාර ස්කන්ධ හෙයින් එකක් සේ ගැනේ.

 

කාම භවයෙහි භාව සහිතවැ පරිපූර්ණ ආයතන ඇති වැ උපදනා සෙසු ඕපපාතිකයනට හෝ සංසේදජයනට හෝ ප්‍ර‍තිසන්ධි ක්‍ෂණයෙහි රූප කලාප සන්තති මූල සතරක් ද, අරූපස්කන්‍ධ තුනක් ද පහළ වේ.

 

විස්තර වශයෙන් රූප - රූපයෙන් චක්ඛු - සෝත - ඝාණ - ජිව්හා - කාය - භාව - වස්තු දශක වශයෙන් සත්තෑවක් (70) නාම - රූප ධර්ම විඥාන ප්‍ර‍ත්‍යයයෙන් වේ යයි දත යුතු. අග හිත ගහණයෙන් රූප සන්තති ශීර්ෂ සයකින් සුපනස් (54) ධර්මයන් හැර එකුන් විස්සක් (19) උත්කර්ෂ වශයෙන් ද, අපකර්ෂ වශයෙන් ඒ ඒ රූප කලාප විකල වූවන්ට ඒවායේ වශයෙන් පිරිහෙලමින් සංක්‍සේපයෙන් ද විස්තරයෙන් ද ප්‍ර‍තිසන්ධියෙහි විඥානප්‍ර‍ත්‍යයෙන් නාම - රූප සඞ්ඛ්‍යා දත යුතු.

 

විශේෂ - අරූපීනට අරූප ස්කන්ධ තුනම ද, අසංඥ සත්ත්වයනට රූපයෙන් ජිවිතින්‍ද්‍රිය නවකය පමණක් ද වේ.

 

මේ ප්‍ර‍තිසන්ධියෙහි ක්‍ර‍මය යැ.

 

ප්‍ර‍වෘත්තියෙහි (ප්‍ර‍තිසන්ධියෙහි පටන් චුතිය අතර කාලයෙහි) රූප පවත්නා සියලු තන්හි ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ ස්ථිතික්‍ෂණයෙහි ප්‍ර‍තිසන්ධි සිත හා පැවති තේජෝ ධාතුවෙන් (සෘතුවෙන්) උතුසමුට්ඨාන ශුද්ධාෂ්ටකය පහළ වේ.

 

විශේෂ - ප්‍ර‍තිසන්ධි සිත රූප නූපදවයි. ප්‍ර‍පාතයෙකැ වැටුණහු මෙරමාට පිහිට වීමට අපොහොසත් වන්නාක් මෙන් හෘදය වස්තුව දුර්වල හෙයින් රූප ඉපදවීමට එය පොහොසත් නොවේ. ප්‍ර‍තිසන්ධි සිතෙන් මත්තෙහි ප්‍ර‍ථම භවාඞ්ගයේ පටන් ඒ චිත්ත සමුට්ඨාන ශුද්ධාෂ්ටකය ද, ශබ්දය උපදනා කල්හි ප්‍ර‍තිසන්ධියෙන් මත්තෙහි පැවති සෘතුවෙන් ද, චිත්තයෙන් ද, ශබ්ද නවකය ද උපදී.

 

කබලීකාරාහාරය නිසා ජීවත් වන ගබ්භසෙය්‍යක සත්ත්වයන්ගේ ශරීරයෙහි

 

“මව බුදින බත්-පැන්-ඈ යම් බොජුනෙක් වෙද

මව් කුස හොත් එ බිලිඳා - එහිදී ඉන් යැපෙනුයේ” යි

 

කී හෙයින් මව අනුභව කළ ආහාරයෙන් අනුගත ශරීරයෙහි ආහාර සමුට්ඨාන ශුද්ධාෂ්ටකය උපදී.

 

ඕපපාතිකියනට සියල්ලට පළමු තමා මුව වැකුණු කෙළ ගලන කල ආහාර සමුඨාන ශුද්ධාෂ්ටකය උපදී.

 

මෙසේ මේ ආහාර සමුඨාන ශුද්ධාෂ්ටකය (සෘතු-චිත්ත-සමුඨාන අෂ්ටක දෙක ය) උත්කර්‍ෂ හෙයින් සෘතු-චිත්ත සමුඨාන අෂ්ටක දෙක ය) උත්කර්‍ෂ හෙයින් සෘතු-චිත්ත සමුට්ඨාන ශබ්ද නවක දෙකදැ යි සවිසි (26) රූපයෙක් වේ.

 

පෙර කර්‍ම සමුට්ඨාන රූප කලාප දෙකෙහි සිට කලාප සත දක්වා එක-එක චිත්තයාගේ තුන් - තුන් ලක්‍ෂණයෙහි උපදනා කියන ලද සැත්තෑ (70) කොටස හා මෙහි කී චිත්ත සමුට්ඨාන, උතු සමුට්ඨාන දෙ කොටසෙහි වූ සවිසි (26) කොටස දැයි සයානූ (96) වැදෑරුම් රූපය ද, එහි වූ අරූපස්කන්ධ තුන දැයි සංක්‍ෂෙපයෙන් නවානූ (99) ධර්‍ම ද, ශබ්දය අනියත හෙයින් ඒ දෙ කොටස හැර සත්අනූ (97) ධර්‍ම ද, යෙදෙන යෙදෙන පරිද්දෙන් සියලු සත්ත්වයන් ගේ විඥාන ප්‍ර‍ත්‍යයෙන් වන නාම-රූප යයි දත යුතු.

 

නිදන්නාවූ ද, ප්‍ර‍මාදවන්නාවූ ද, කන්නාවූද, බොන්නාවූ ද, ඒ සත්නට දහවල් ද රෑ ද මේ සත් අනූ (97) නාම-රූප ධර්‍මයේ විඥාන ප්‍ර‍ත්‍යයයෙන් පවතිත්.

 

ඔවුනට ඒ විඥානය ප්‍ර‍ත්‍යය වන බව මත්තෙහි වර්‍ණනා කරමු.

 

මෙකී ඒ කර්‍මජ රූප සියලු භව-යොනි-ගති-විඤ්ඤාණඨිති-සත්තාවාසයන්හි සියලු රූපයනට පළමු පිහිටන්නේ නමුදු තිසමුඨානික රූපයෙන් උවතඹ නො ලදහොත් බොහෝ කලක් පැවතීමට පොහොසත් නො වේ. ඒ තිසමුඨානික රූප ද කර්‍මජ රූපයෙන් උවතඹ නොලැබ පැවැත්මට නො හැකි වේ.

 

ඒකාන්තයෙන් වාතයෙන් පහරන ලදුවත් සිවු දිගට විහිදුවා අග එක් තැන් කොට තැබූ බට දඬු මිටි සතරක් සේ ද, රළ වේගයෙන් පහල මහ මුහුදෙහි එක් තැනෙක පිහිටි බුන් නැවක් සේ ද ඔවුනොවුන් පිහිට ලැබම මේ කර්‍මාදි චතු සමුඨානික රූප කලාපයෝ නො වැටී පිහිටා වර්‍ෂයක් හෝ දෙවර්‍ෂයක් හෝ -පෙ ශත (100) වර්‍ෂයක් හෝ ඒ සත්ත්‍වයින් ගේ ආයුඃක්‍ෂය හෝ පුණ්‍යක්‍ෂය හෝ වනතාක් පවතිත්.

 

මෙ සේ භවාදීන්හි පැවැතීම් වශයෙන් ද විනිශ්චය දතයුතු.

 

(3) සංග්‍ර‍හ වශයෙන්:- අරූප භවයෙහි ප්‍ර‍වෘත්ති-ප්‍ර‍තිසන්ධි දෙක්හි ද, පඤ්චවොකාර භවයෙහි  ප්‍ර‍වෘත්තියෙහි ද (දෙපස් (10) විඤ්ඤාණ හා රහතුන්ගේ චුති චිත්තය ද, රූප නො උපදවන හෙයින්) සෙසු විඥාන ප්‍ර‍ත්‍යයයෙන් සම්ප්‍ර‍යුක්ත නාමය වේ.

 

අසංඥ සත්ත්‍වයෙහි ප්‍ර‍තිසන්ධි - ප්‍ර‍වෘත්ති දෙක්හි ම කර්‍ම-විඥාන ප්‍ර‍ත්‍යයෙන් රූපය ම වේ. පඤ්චවොකාර භවයෙහිදු ප්‍ර‍වෘත්තියෙහි විඥාන ප්‍ර‍ත්‍යයෙන් රූපයම වේ. පඤ්චවොකාර භවයෙහි ප්‍ර‍වෘත්ති ප්‍ර‍තිසන්ධි දෙක්හි ම විඥාන ප්‍ර‍ත්‍යයෙන් නාම-රූප දෙකම ද වේ. ඒ සියල්ල නාමය ද, රූපය ද, නාම-රූප දෙක ද නාම රූපයැ යි මෙසේ එක දේශයකින් ස්වරූප එකශෙෂ කොට විඥාන ප්‍ර‍ත්‍යයයෙන් නාම-රූප වේය යි දතයුතු.

 

ප්‍ර‍ශ්නයෙකි: අසංඥ සත්ත්‍වයෙහි විඥානයක් නැති හෙයින් ‘විඥාන ප්‍ර‍ත්‍යයයෙන් රූප වේය’ යනු අයුක්ත වේ ද.

 

පිළිතුර:- ඒ අයුතු නො වේ.

 

කවර හෙයින් ද

 

“නම්-රූ දෙකට හේ*[697]-විනැණෙක් වෙද ඒ මෙහි

විවා-අවිවා දෙ බෙයින් - කිවෙන් මේ මෙහි යුතු මැයි”

 

“නාම-රූපයට හේතු වූ මේ විඥානය විපාක විඥානය, අවිපාක විඥානයැ යි දෙ පරිද්දෙකින් දන්නා ලදී. එහෙත් මේ අසංඥ සත්ත්‍වයෙහි කර්‍ම සමුත්‍ථාන හෙයින් පඤ්චවොකාර භවයෙහි ප්‍ර‍වෘත්ත වූ අභිසංස්කාර විඥාන ප්‍ර‍ත්‍යයයෙන් රූපය වේ. එසේම පඤ්චවොකාරයෙහි ප්‍ර‍වෘත්තියෙහි කුශල - අකුශල - ක්‍රියා චිත්තක්‍ෂණයෙහි ද කර්‍ම සමුත්‍ථාන රූපය වේය, යනු යුක්ත මැයි.

 

මෙසේ සංග්‍ර‍හ වශයෙන් විනිශ්චය දතයුතු.

 

(4) පත්‍යය නය වශයෙන්

 

(i)      විපාක විඥානය නාමයට නව ආකාරයකින්පත්‍යය වේ.

(ii)    ප්‍ර‍තිසන්ධි ක්‍ෂණයෙහි වස්තුරූපයට නව ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ.

(iii)  සෙසු රූපයට අට ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ.

(iv)    අභිසංස්කාර විඥානය කර්‍මජ රූපයට එක් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ.

(v)      සෙසු භවාඞ්ගයෙහි පටන් සියලු විඥානය ඒ ඒ නාම රූපයට සුදුසු සුදුසු පරිදි පත්‍යය වේ.

 

විස්තර:- (i) ප්‍ර‍තිසන්ධියෙහි හෝ ප්‍ර‍වෘත්තියෙහි හෝ විපාක සඞ්ඛ්‍යාත යම් නාමයක් රූප මිශ්‍ර වූ හෝ මිශ්‍ර නොවූ හෝ විපාක නාමයට ප්‍ර‍තිසන්ධිකවූ හේ තදන්‍යවූ හෝ විපාක විඤ්ඤාණය සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - සම්පයුත්ත - විපාක - ආහාර - ඉන්ද්‍රිය - අර්ථ - අවිගත වශයෙන් නව ආකාරයෙකින් පත්‍යය වේ.

 

(ii) වස්තු රූපයට ප්‍ර‍තිසන්ධියෙහි සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - විපාක - ආහාර - ඉන්ද්‍රිය - විප්පයුත්ත - අර්ථ - අවිගත වශයෙන් නව ආකාරයෙකින් ප්‍ර‍ත්‍යය වේ.

 

(iii) වස්තු රූපය හැර සෙසු රූපයට මේ නවවිධ පත්‍යයයන් අතුරින් අඤ්ඤමඤ්ඤ ප්‍ර‍ත්‍යය හැර සෙසු අට ආකාරයෙන් ප්‍ර‍ත්‍යය වේ.

(iv) අහිසංස්කාර විඤ්ඤාණය අසංඥ සත්ත්‍ව රූපයට හෝ පඤ්චවොකාර භවයෙහි කර්‍ම රූපයට හෝ සුත්‍රාන්තික පර්‍ය්‍යායයෙන් උපනිඃශ්‍ර‍ය වශයෙන් එක ආකාරයකින්ම ප්‍ර‍ත්‍යය වේ.

 

(v) අවශේෂවූ ප්‍ර‍ථම භවාඞ්ගයෙහි පටන් සියලු විඥානය ඒ ඒ නාම - රූපයට සුදුසු පරිද්දෙන් ප්‍ර‍ත්‍යය වේ යයි දතයුතු.

 

විශේෂ:- විස්තර වශයෙන් ඒ විඥානයා ගේ ප්‍ර‍ත්‍යය නය දක්වන කල සියලුම පඨාන කථාව විස්තර කළ යුතු වන බැවින් එය ආරම්භ නො කරමු.

 

ප්‍ර‍ශ්නයෙකි:- ‘ඒ විඤ්ඤාණ පච්චයා නාම රූපං’ යන වචනයෙහි ප්‍ර‍තිසන්ධියෙහි වන නාම-රූප විඥාන ප්‍ර‍ත්‍යයයෙන් වේය යි කෙසේ දන්නේ ද

 

පිළිතුර:- අභිධර්‍ම පාළි නය විසිනුදු යුක්ති විසිනුදු දතයුතු යි.

 

ඒ මෙසේ යි:- අභිධර්‍ම පෙළෙහි “චිත්තානු පරිවත්ති නො ධම්මා[698] ‘චිත්තය අනුවැ පවත්නා ධර්‍මය’ යනාදි බහු ප්‍ර‍කාරයෙන් වෙදනාදීන්ට විඥානය ප්‍ර‍ත්‍යය වේය යි සිඬ යැ.

 

යුක්ති වශයෙන් වනාහි මෙහි දක්නාලද චිත්තජ රූපයෙන් නො දක්නාලද ප්‍ර‍තිසන්ධි කර්‍මජරූපයට විඥානය ප්‍ර‍ත්‍යය වේය යි සිඬ ය.

 

ඒ එසේ මැයි:- සිත පහන් කල ද නො පහන් කල ද එයට අනුරූප වූ රූප උපදනාහු දක්නා ලැබෙති. දක්නා ලද හෙයින් නො දක්නා ලද්දාවූ ද පතිසන්ධි රූපයට විඥානය ප්‍ර‍ත්‍යය වේය යි දතයුතුයි.

 

යුක්ති හෙයින් සාධකයෙකින් එය ස්ථිර කෙරේ. චිත්ත සමුඨාන රූපයට විඥානය ප්‍ර‍ත්‍යය වන්නාක් මෙන් කර්‍ම  සමුත්‍ථාන රූපයට විඥානයා ගේ ප්‍ර‍ත්‍යය භාවය පඨානයෙහි මෙසේ ආයේ යැ.

 

අඛ්‍යාකතො ධම්මො - පෙ -තයො ඛන්‍ධා[699] යනාදි විසිනි. (විස්තර බෙහෙවැ.)

මෙ සේ ප්‍ර‍ත්‍යය නය වශයෙනුදු මෙහි විනිශ්චය දතයුතු.

මේ විඥාන ප්‍ර‍ත්‍යයයෙන් නාම රූප - වේ” යනුනෙහි විස්තර කථාවයි.

 

4. නාම - රූප ප්‍ර‍ත්‍යයයෙන් ෂඩායතන වේ, මේ පදයෙහි

නම නම් කඳු [700]*තුනයැ - රූ නම් බු-වතෑදතු,+

එක් සෙස් කළ එනම්-රූ-පස වේ එවැනි ඔහුට මැ”

 

විස්තර:- ෂඩායතනයට ම ප්‍ර‍ත්‍යය වූ මේ නාම-රූප අතුරින් නාමය නම් වෙදනාදි ස්කන්‍ධ ත්‍ර‍ය යැ. රූප නම් ස්වසන්තතියෙහි ඇතුළත් සතර මහාභූත යැ. ෂඩ්වස්තු යැ. ජිවිතින්‍ද්‍රියයැයි මෙසේ නියමයෙන් යෙදෙන පරිද්දෙන් වේ.

 

මෙහි වේදනාදී ස්කන්‍ධත්‍ර‍ය යි කීයේ විඥානය - මෙයට පෙර නාම - රූපයනට ප්‍ර‍ත්‍යය භාවයෙන් කී හෙයිනි.

 

සතර මහාභූතයානට ද, ෂඩ්වස්තූනට ද, ජිවිතින්‍ද්‍රියට ද, සුදුසු සේ සහජාත - පුරෙජාත - ඉන්‍ද්‍රියාදි  ප්‍ර‍ත්‍යයයෙන් ෂඩායතනයට ම එකාන්තයෙන් ප්‍ර‍ත්‍යය වන බව් සඳහා යි (ටීකාහි කී.)

 

(රූපායතනාදියට සහජාත නිශ්‍ර‍ය අනුපාලකාදි භාවය නැති හෙයින් මෙහි නො ගැනේ.)

 

විශේෂ:- ඒ නාම-රූප යනු නාම ද+රූප ද +නාම -රූප ද= නාම-රූප යැ යි, මෙසේ එකශෙෂ කරන ලදුයේ ෂෂ්ඨායතනද+ෂඩායතන ද=ෂඩායතනයැ යි මෙ සේ එක ශේෂ කරන ලද්දට ම ප්‍ර‍ත්‍යය වේය යි දතයුතු.

 

ඒ මෙ සේ යි:- අරූප භවයෙහි නාමය ෂෂ්ඨායතනය (මනායතනය) ට ප්‍ර‍ත්‍යය වේ. එහෙයින් ම විභඞ්ගයෙහි “නාම-පච්චයා ඡට්ඨායතනං[701] යි වදාළහ.

 

ප්‍ර‍ශ්නයෙකි:- නාම-රූපය ෂඩායතනයට ප්‍ර‍ත්‍යය වේය යි කෙසේ දත හැකි ද

 

පිළිතුර:- නාම-රූප ඇති කල්හි ම ෂඩායතන වන හෙයිනි.

 

ඒ එසේ මැයි:- ඒ ඒ නාම ද, රූප ද ඇති කල ඒ ඒ ආයතනය වේ. නැති කල නො වේ. යනු ව්‍යතිරෙකයෙන් කියන ලදී. ඒ ෂඩායතනයන් ගේ නාම-රූප ඇති කල වන සුලු බව ප්‍ර‍ත්‍යය නයෙහි ම මතු ප්‍ර‍කාශ වේ.

 

එහෙයින් :- “පිළිසඳැ පවත්හි ද -යමක් යමකට පස වෙද,

 

යම් ලෙසකිනුදු පස වෙද - පඬිහු එ මෙ සේ දතයුතු” මේ කියනුයේ එහ විස්තරය යි.

 

“නම්මැ අරූ බවේ-පිළිසඳැ පැවැතැ නමට මැ,

සත් අයුරින්, ස අයුරින් පස වෙ යටත් පිරිසෙයින්”

 

ඒ මෙ සේ යි:- ප්‍ර‍වෘත්තියෙන් පළමුවැ ප්‍ර‍තිසන්ධියෙහි යටත් පිරිසෙයින් සහජාතා - අඤ්ඤමඤ්ඤ -නිස්සය - සම්පයුත්ත - විපාක -අර්ථ-අවිගත ප්‍ර‍ත්‍යයයෙන් සත් පරිද්දෙකින් නාමය මනායතනයට ප්‍ර‍ත්‍යය වේ.

 

තවද මේ නාම අතුරින් කිසිවක් හෙතු ප්‍ර‍ත්‍යයයෙන් ද, කිසිවක් ආහාර ප්‍ර‍ත්‍යයයෙන් ද, මෙ සේ අන් අයුරින් ද, ප්‍ර‍ත්‍යය වේ. ඒ වශයෙන් උත්කර්‍ෂ අපකර්‍ෂය ද දතයුතු.

 

සෙසු අවිපාක නාමය යටත් පිරිසෙයින් යට කී ප්‍ර‍ත්‍යයයන් අතුරින් විපාක ප්‍ර‍ත්‍යය හැර ෂට්ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

විශේෂ:- මේ අවිපාක නාම අතුරින් අලොභ - අදොස - අමොහ - සඞ්ඛ්‍යාත කිසි නාමයෙන් හේතු ප්‍ර‍ත්‍යයෙන් ද, ස්පර්‍ශ-වෙදනාදි කිසි නාමයෙක් ආහාර ප්‍ර‍ත්‍යයෙන් ද, යන මේ ආකාරයෙන් අන් අයුරකිනුදු ප්‍ර‍ත්‍යය වේ. ඒ හේතු ප්‍ර‍ත්‍යාදීන් ගේ වශයෙන් උත්කර්‍ෂ - අපකර්‍ෂය දත යුතු.

 

විස්තර:- පෙර කී ප්‍ර‍ත්‍යය භාවයෙන් අමොහ්‍ය හෙතු ප්‍ර‍ත්‍යවැ අෂ්ටධා ප්‍ර‍ත්‍යය භාවය ද, ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය වීමෙන් නවධාප්‍ර‍ත්‍යය භාවය ද, මාර්‍ග ප්‍ර‍ත්‍යය වීමෙන් දසධා ප්‍ර‍ත්‍යය භාවයදැ යි උත්කර්‍ෂ ද, ඔවුන් එකිනෙක පිරිහීමෙන් අපකර්‍ෂය ද දතයුතු. මෙහි හේතු-ඉන්ද්‍රිය-මාර්‍ග ප්‍ර‍ත්‍යය වනුයේ අමෝහයම ය. සෙස්ස ද මෙසේ ද යෙදිය යුතු. මේ ප්‍ර‍තිසන්ධියෙහි ය. ප්‍ර‍වෘත්තියෙහි ද විපාකයා ගේ සහජාතාදී වශයෙන් ප්‍ර‍ත්‍යය භේදය පෙර කී සේ ම උත්කර්‍ෂ-අපකර්‍ෂයෙන් වේ. අවිපාකයෙහි ද හෙතු ප්‍ර‍ත්‍යය ආහාර ප්‍ර‍ත්‍යය වශයෙන් උත්කර්‍ෂ ද, ඔවුන්ගේ ම පිරිහීමෙන් අපකර්‍ෂ ද දතයුතු.

 

“සෙසු බවෙ පිළිස‍ඳෙහි - නම් මනසට පෙරැ සේ,

සත් අයුරින්, සෙස්නට - ස අයුරින් පස වනුයේ.”

 

අරූප භවයෙන් අන්‍ය පඤ්චවොකාර භවයෙහි ද ඒ විපාක නාමය හෘදය වස්තු සහායවැ මනායතනයට යට කී සේ අවකර්‍ෂ-යෙන් සත් පරිද්දෙකින් ද ප්‍ර‍ත්‍යය වේ. සෙසු චක්ඛායතනාදියට සතර මහාභූත සහායවැ සහජාත-නිස්සය-විපාක-විප්පයුත්ත-අත්ථි-අවිගත වශයෙන් සයාකාරයෙකින් ප්‍ර‍ත්‍යය වේ. සෙස්ස පෙර කී සේ දතයුතු.

 

“පවත්හිඳු පෙරැ සේ - පස වෙ විවා-විවාහට

අවිවා-අවිවා වනට - ස පරිද්දෙකින් පස වේ”

 

විස්තර:- පඤ්චවොකාර භවයෙහි ප්‍ර‍තිසන්ධියෙහි මෙන් ප්‍ර‍වෘත්තියෙහි ද විපාක නාමය විපාක වූ මනායතනයට යටත් පිරිසෙයින් සත් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ. එසේ ම, විපාක නාමය සෙසු චක්‍ෂුරාදි පඤ්චායතනයට - සතර මහාභූත සහායවැ සහජාත - නිස්සය - විපාක - විප්පයුත්ත - අත්ථි  - අවිගත වශයෙන් සය ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ.

 

විශේෂ:- මේ විපාක නාමයන් අතුරින් ඇතැම් විපාකයෙක් හේතු ප්‍ර‍ත්‍යය වශයෙන් ද, ඇතැමෙක් ආහාර ආහාර ප්‍ර‍ත්‍යය වශයෙන් දැයි මෙසේ අන් අයුරිනුදු ප්‍ර‍ත්‍යය වේ. ඒ වශයෙන් උත්කර්‍ෂ - අපකර්‍ෂ භාවය දත යුතු යි.

 

“එහි මැ සෙසු සක් ඈ - පසට විවා පැවැත්මෙහි

පස වේ සිවු අයුරකින් - අවිවා නමුදු මෙ ලෙසේ”

 

ඒ පඤ්චවොකාර භවයෙහි ම ප්‍ර‍වෘත්තියෙහි චක්ඛායතනාදී පඤ්චායතනයට චක්‍ෂුඃප්‍ර‍සාදාදී වස්තූන් නිශ්‍ර‍ය කොට පැවැත්තා වූ ද විපාක නාමය පච්ඡාඡාත - විප්පයුත්ත - අත්ථි - අවිගත යන සතර ආකාරයෙන් ප්‍ර‍ත්‍යය වේ. මේ විපාක නාමය මෙන් අවිපාක නාමය ද එසේම ප්‍ර‍කාශ කරන ලදී. එහෙයින් කුශල-අකුශල-ක්‍රියා වශයෙන් ත්‍රිවිධ වූ ඒ නාමය ද, ඒ චක්ඛාදී පඤ්චවිධ ආයතනයට සතර ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේය යි දතයුතු.

 

මෙසේ රූපයට පළමු නාමය ම ප්‍ර‍තිසන්ධියෙහි ද, ප්‍ර‍වෘත්තියෙහි ද යම් යම් ආයතනයකට ප්‍ර‍ත්‍යය වේ නම් ඒ ආකාරයෙන් දතයුතු.

 

“මෙ අරූ බවෙහි රූ-අයතුන්*[702] එකක්හට වත්

එකතින් පස නො වේ මැයි, - පස්කඳ ඇති බවෙහි නම්

 

රු‘වතුරින් වත් රූ - පිළිසිඳැ මනට සපරිදි,

සිව්බූ පසට සිව් විදි - සඳැ පවතහිදු පස වේ”

 

විස්තර:- රූප අතුරින් වස්තුරූපය ප්‍ර‍තිසන්ධියෙහි සවැනිවූ මනායතනයට සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - විප්පයුත්ත - අත්ථි - අවිගත ප්‍ර‍ත්‍යයයෙන් සය ආකාරයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

සතර මහභූත අවිශෙෂයෙන් ප්‍ර‍තිසන්‍ධි - ප්‍ර‍වෘත්ති දෙක්හි ම උපදනා ඒ ඒ ආයතනයන් ගේ වශයෙන් චක්ඛාවතනාදී ඒ ඒ ආයතනයට සහජාත - නිස්සය - අත්ථි - අවිගත ප්‍ර‍ත්‍යයයෙන් සිවු ආකාරයෙකින් ප්‍ර‍ත්‍යය වේ.

 

(ප්‍ර‍තිසන්‍ධියෙහි අණ්ඩජ - ජලාබුජයනට පඤ්චායතන අතුරින් කායායතනයට ද, සෙස්සවුනට යථායොගයෙන් සෙසු ආයතනයනට ද ප්‍ර‍ත්‍යය වේ.)

 

“මේ පසට තෙවිදි දිව් - පස වේ අහර පැවැතෙහි,

පස මැ මනසට සපිරිදි - වත් රූ එයට පස් විඳි”

 

විස්තර:- චක්ඛාදී පඤ්චප්‍ර‍සාදයනට ප්‍ර‍තිසන්ධියෙහි ද, ප්‍ර‍වෘත්තියෙහි ද, රූප ජිවිතෙන්‍ද්‍රියය අත්ථි - අවිගත - ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය වශයෙන් තුන් පරිද්දෙකින් ප්‍ර‍ත්‍යය වේ. ආහාර රූපය ද, අත්ථි - අවිගත - ආහාර වශයෙන් තුන් පරිද්දෙකින් ප්‍ර‍ත්‍යය වේ.

 

ඒ වනාහි ආහාරය නිසා ජීවත්වන සත්ත්‍වයින් ගේ ශරීරයෙහි ඔජාව පැතිරී ගිය කල්හි ප්‍ර‍වෘත්තියෙහි මැයි, ප්‍ර‍තිසන්ධියෙහි ප්‍ර‍ත්‍යය නො වේ. චක්ඛායතනාදී ඒ පඤ්චායතන (සවැනි මනායතනට) චක්ඛු - සොත - ඝාණ - ජිව්හා - කාය විඤ්ඤාණ සඞ්ඛ්‍යාත මනායතනයට නිස්සය - පුරෙජාත - ඉන්‍ද්‍රි - විප්පයුත්ත - අත්ථි - අවිගත ප්‍ර‍ත්‍යය වහයෙන් සයාකාරයකින් ප්‍ර‍වෘත්තියෙහි ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි නො වේ.

 

විශේෂ:- පඤ්චවිඤ්ඤාණය හැර මනායතනයට වස්තු රූපය නිඃශ්‍ර‍ය පුරෙජාත - විප්‍ර‍යුක්ත - අසති - අවිගත වශයෙන් පස් ආකාරයකින් ප්‍ර‍වෘත්තියෙහි ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි නො වේ. මෙ සේ රූපයම ප්‍ර‍තිසන්ධියෙහි ද, ප්‍ර‍වෘත්තියෙහි ද, යම් යම් ආයතනයකට යම් යම් අයුරකින් ප්‍ර‍ත්‍යය මේ නම් එසේ දතයුතු.

 

“නම් රූ දෙක‘තුරින් - යමක් යමකට යම් සේ

පස වෙද හේ දෙතන්හි මැ - පඬිහු නිසි සේ දතයුතු”

 

ඒ මෙ සේ යි :- ප්‍ර‍තිසන්ධියෙහි පඤ්චවොකාර භවයෙහි වෙදනා -සඤ්ඤා - සඞ්ඛාර යන ස්කන්‍ධ තුන හා හෘදය වස්තු රූපයදැ යි කියන ලද නාම-රූපය, මනායතනයට සහජාත-අඤ්ඤමඤ්ඤ - නිස්සය -විපාක - සම්පයුත්ත - විප්පයුත්ත - අත්ථි - අවිගත ප්‍ර‍ත්‍යයාදීන් වේය යි දත යුතු. මේ මෙහි ලෙශ මාත්‍රයෙකි.

 

විශේෂ:- කී නයින්ම යොදා ගත හැකි හෙයින් මෙහි විස්තර නො දැක්වී.

 

මේ ‘නාම-රූප ප්‍ර‍ත්‍යයයෙන් ෂඩායතනය වේ’ යන්නෙහි විස්තර කථාවයි.

 

5.  ෂඩායතන ප්‍ර‍ත්‍යයයෙන් ස්පර්‍ශ වේ යන මෙහි :-

 

‘සක් පැහැසුම්* ඈ - සැකෙවින් ස පහසෙක් වේ.

සකර පසින් විනැණ සේ - විතරින් එ වේ දෙතිසෙක්”

 

ඒ මෙ සේ යි:- සැකෙවින් ෂඩායතන ප්‍ර‍ත්‍යයයෙන් ස්පර්‍ශ වේ යන මෙහි චක්ඛුසම්ඵස්සය, සොතසම්ඵස්සය, ඝාණසමථස්සය, ජිව්හාසම්ඵස්සය, කායසම්ඵස්සය, මනොසම්ඵස්සය යි මෙ සේ ඵස්සයෝ ස දෙනෙක් ම වෙති.

 

විස්තර වශයෙන් චක්ඛුසම්ඵස්සාදී කුසල විපාක පස ච, අකුසල විපාක පසදැ යි දසයෙක් වේ. සෙසු දෙ විසි (22) ලෞකික විපාක සම්ප්‍ර‍යුක්ත වූ දෙවිසි ඵස්සයදැ යි මෙසේ සඞ්ඛාර ප්‍ර‍ත්‍යයයෙන් කී විඥානය මෙන් දෙතිසෙක් (32) වේ.

 

මෙසේ දෙතිස් ඵස්සයට ප්‍ර‍ත්‍යය වූ මේ ෂඩායතන අතුරින්

 

“මනස හා අද ඇති* - අයතුන් සදෙන සක් ඈ,

රිසියෙන් බැහැරි සය හා - අද ඇති සය නැණැතියෝ”

 

(1) ඒ ෂඩායතන ප්‍ර‍ත්‍යයෙන් ස්පර්‍ශය වේය” යන මේ පදයෙහි ඇතැම් (මහා විහාර වැසි) ආචාර්‍ය්‍ය කෙනෙක්

 

“මේ උපාසින්න කථා ප්‍ර‍වෘත්තියැ යි (තෘෂ්ණා - දෘෂ්ටියෙන් යුක්ත කර්‍මයෙන් තමා ගේ ඵලභාවයෙන් ගන්නා ලද වෘත්ත දුඃඛය පිළිබඳ කථාවයැ යි) මෙහි ස්වසන්තතියෙහි ඇතුළත් වූ ම ප්‍ර‍ත්‍යය ද, ප්‍ර‍ත්‍යය සමුත්පන්නය ද ගනිති.

 

විස්තර:- “සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං යී” කී පරිදි කර්‍ම යෙන් නිපන් විඤ්ඤාණයැ - නාම - රූපයැ - සළායතනයැ - ඵස්සයැ - වෙදනායැ යන ප්‍ර‍ත්‍යය ද, ප්‍ර‍ත්‍යයසමුත්පන්නය ද එකම සන්තතියෙහි ඇතුළත් විපාකය යි කැමති වෙති. එසේවන්නා “ඡඨා යතන පච්චයා ඵස්සො[703] යී අභිධර්‍ම භාජනියෙහි පෙළ අනුවැ අරූප භවයෙහි ඡඨායතනය ද, පඤ්චවොකාර භවයෙහි ෂඩායතනය ද එක්කොට “ඡඨායතනංච සළායතනංච = සළායතනං” යී එකදේශයකින් ස්වරූප ඒකශේෂ කොට සවැනි වූ මනායතනය සමග අධ්‍යාත්ම චක්‍ෂුරාදි ආයතන ෂඩායතනය යි කැමති වෙති, එහෙයින් ම පෙර කී සේ “ඡඨායතනං ච+සළායතනං ච=සළායතනං” යී ව්‍යවහාර වේ. ඒ අනුව “කර්‍මයෙන් නො නිපන් (අනුපාදින්නක) රූපාදී බාහිරායතන සය ද, ඵස්සයට අරමුණු වේය යි ද, ඒවා චක්ඛාදිය මෙන් ස්වසන්තතියෙහි ඇතුළත් කර්‍මක්ලේශ නිමිත්තෙන් පැවැත්මෙන් ඵස්සයට ප්‍ර‍ත්‍යය නො වේයැ”යි ද මේ ආචාර්‍ය්‍ය වාදයෙහි නො ගැනේ.

 

(2) දෙවන ආචාර්ය වාදයෙහි:- “ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්‍මයම ස්වසන්තියෙහි ඇතුළත් වේය යි ද, ප්‍ර‍ත්‍යය ධර්‍මය භින්නසන්තතියෙහි වේය යි ද කියා, යම් යම් ආයතනයෙක් ඵස්සයට ප්‍ර‍ත්‍යය වේ නම් ඒ සියලු ආයතනයම ගෙන බාහිර වූ රූපාදී ආයතන ද ඇතුළත් කොට ඒ මනායතනය ද, බාහිර වූ රූපායතනාදිය සමග ඒ අධ්‍යාත්මවූ ෂඩායතනයම සළායතනයැ යි කැමති වෙති. හෙද “ඡඨායතනංච+සළායතනංච+සළායතනංච=සළායතනං” යී සවන මනායතනය ද, අධ්‍යාත්මායාතන සය ද, බාහිරායතන සයදැ යි මේ ඡඨායතන+සළායතන+සළායතන ශබ්දයන් එකශෙෂ කළ කල සළායතනයැ යි කියාම ව්‍යවහාර යට සේ යැයි කැමති වෙති.

 

(මෙහි අජ්ඣත්තායතන ෂට්කය ස්වසන්තති පර්‍ය්‍යපන්න කර්‍මයෙන් නිර්‍වෘත්තවූයේ එබඳු සංග්‍ර‍හයකට ප්‍ර‍ත්‍යය වෙයි. රූපාදීහු වනාහි පිටත්හි අනුපාදින්නවූවාහු ස්පර්‍ශයට ආලම්බන වෙත් නමුදු චක්‍ෂුරාදීන් මෙන් ස්වන්තති පර්‍ය්‍යපන්ත කර්‍මක්ලේශ නිමිත්තයෙන් ප්‍ර‍වෘත්තවැ ස්පර්‍ශයට ප්‍ර‍ත්‍යය නො වෙත් නුයි ප්‍ර‍ථමාචාර්‍ය්‍යවාදයෙහි අගෘහීතයහ. ද්‍විතීයාචාර්‍ය්‍යවාදයෙහි වනාහි යම් යම් ප්‍ර‍කාරයකිනුදු ප්‍ර‍ත්‍යය භාවයක් ඇති කල්හි දුරුකරන්ට නො පිළිවන්හු යි ගෘහීතයයි දතයුතු යනු සන්‍යයි.)

 

ප්‍ර‍ශ්නයෙකි:- සියලු ආයතනයන් ගෙන් එක් ස්පර්‍ශයෙක් හෝ එක ආයතනයකින් සියලු ස්පර්‍ශ හෝ නොවේ. එසේ වන්නා “සළායතන පච්චයා ඵස්සො” යී එකවචනය කෙසේ යෙදේ ද

 

පිළිතුරු:- අනෙකායතනයෙන් එක් ඵස්සයක් හෝ එක ආයතනයෙකින් සියලු ඵස්ස හෝ නො වේ, නොයෙක් ආයතනයන් ගෙන් එක ඵස්සයෙක් වේ.

 

ඒ මෙ සේ යි:- චක්ඛු සම්ඵස්සය චක්ඛායතනයෙන් ද, රූපායතනයෙන් ද, චක්ඛු විඤ්ඤාණසඞ්ඛ්‍යාත මනායතනයෙන් ද, ඒ හා යෙදුණු සෙසු චෛතසික සඞ්ඛාත ධර්‍මායතනයෙන් ද උපදී. සෙසු සොත සම්ඵස්සාදිය ද එසේ සුදුසු සේම යෙදිය යුතු.

 

මෙසේ,

“එක ම පැහැසුම*[704] නන් - අයුරින් කෙරෙන් වේයැ යි,

පැහැසුම එක  බසින් මෙහි - දෙසුවෝ එතතු දතුවෝ”

 

යි කීහ. “සළායතන පච්චයා ඵස්සො” යන මේ එකවචනයෙන් නිර්‍දෙශය නොයෙක් ආයතනයෙන් එක් ඵස්සයෙක් වේය යි දක්වනු පිණිස බුදුහු වදාළහ.

 

ආයතනයන් අතුරින් -

 

“එයින් සක් ඈ පස - සවිදි, මනස එක් විවා

නවවිදි වේ, බැහැරි සය - පස බැව්හි යුතු සේ වී”

 

විස්තර:- චක්ඛායතනාදී පස චක්ඛුසම්ඵස්සාදී පස්වැදෑරුම් ඵස්සයට, නිස්සය - පුරෙජාත - ඉන්ද්‍රිය - විප්පයුත්ත - අත්ථි - අවිගත වශයෙන් සය ආකාරයෙකින් ප්‍ර‍ත්‍යය වේ.

 

එකම විපාක මනායතනය කුසල විපාකාදී අනේක භෙද ඇතිවැ මනොසම්ඵස්සයට, සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - විපාක - ආහාර - ඉන්‍ද්‍රිය - සම්පයුත්ත - අත්ථි - අවිගත වශයෙන් නවප්‍ර‍කාරයෙකින් ප්‍ර‍ත්‍ය වේ.

 

තවද බාහිර ආයතනයන් අතුරින් රූපායතනය චක්ඛුසම්ඵස්සයට ආරම්මණ - පුරෙජාත - අත්ථි - අවිගත වශයෙන් සතර ආකාරයෙන් ද, ශබ්දායතනාදිය සොතසම්ඵස්සාදියට ද එසේ ම සතර - සතර ආකාරයෙන් ද ප්‍ර‍ත්‍යය වේ.

 

මනොසම්ඵස්සයට වනාහි ඒ රූපායතනාදිය ද, ධර්‍මායතනය ද, ප්‍ර‍ත්‍යුත්පන්න ධර්‍මායතනයට ඇතුළත් රූප ද, ආලම්බන ප්‍ර‍ත්‍යය මාත්‍රයෙන් ම ප්‍ර‍ත්‍යය වේ.

 

මේ ‘ෂඩායතන ප්‍ර‍ත්‍යයෙන් ස්පර්‍ශය වේ’ යන්නෙහි විස්තර කථාවයි.

 

6.  ස්පර්‍ශ ප්‍ර‍ත්‍යයෙන් වේදනා වේ යන්නෙහි

සක් පහස් දුන[705] ඈ - වෙයින් සයෙකි දොර හෙයින්

ඒ සිත් සැපි යුතු බෙයින් - එකුන් අනූවෙකැ යි (89) දතු.

 

මෙහි “චක්ඛුසම්ඵස්සජා වේදනා සෝත - පෙ - ඝාණ - ජිව්හා - කාය - මනො සම්ඵස්සජාවේදනා”[706] යී ‘චක්ඛු සම්ඵස්සජ - වේදනා ය, සොත - ඝාණ - ජිව්හා - කාය - මනොසම්ඵස්සජා වේදනා යැ’ යි මෙ සේ ද්වාර වශයෙන් වෙදනා සයක් ම කියන ලදී. ඒ වෙදනා සදෙන ප්‍රභෙද වශයෙන් එකුන් අනූවක් (89) චිත්තයන් හා සම්ප්‍ර‍යුක්ත හෙයින් එකුන් අනූ වැදෑරුම්ය යි දන්නා ලදී.

 

“එ වෙයින් අතුරිනුදු - විවා සිත් හා සැපි යුතු,

දෙතිසක් වෙයින් පෑ - මුනිඳුසඳ මෙහි සිරි වී”

 

“එහි පස් දොරැ පසට - පස වේ අට අයුරෙකින්,

සෙසුවනට වේ එක් විදි - මුනි දොරැ පළමු කී සේ”

 

විස්තර:- පඤ්චද්වාරයෙහි චක්‍ෂුඃප්‍ර‍සාදාදීන් වස්තු කොට ඇති පස් වෙදනාවනට චක්ඛුසම්ඵස්සාදි ස්පර්‍ශය - සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - විපාක - ආහාර - සම්පයුත්ත - අත්ථි - අවිගත වශයෙන් අයුරෙකින් ප්‍ර‍ත්‍යය වේ.

 

(“මෙහි සම්ප්‍රත්‍යෙෂණ සම්ප්‍ර‍යුක්ත වේදනාවට චක්‍ෂුස්පර්‍ශාදී වූ පස් දෙන අනන්තරාදි ප්‍ර‍ත්‍යය වෙත් නමුදු අනන්තරාදීන් උපනිශ්‍රයෙහි අන්තර්‍ගත වන බැවින් සන්තීරණ තදාලම්බනයට ද සාධාරණ වූ උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය වශයෙන් “එකදා පච්චයො හොති” යී කියන ලදැයි දතයුතු” යනු සත්‍යයි.)

 

මනොද්වාරයෙහි තදාලම්බන වශයෙන් පැවැති කාමාවචර විපාක වේදනාවනට සහජාත මනෝසම්ඵස්සය පෙර සේම සහජාතාදි අට අයුරින් ප්‍ර‍ත්‍යය වේ. පටිසන්‍ධි - භවාඞ්ග - චුති වශයෙන් පැවැති ඒ කාම - රූප - අරූප - ත්‍රෛභූමික විපාක වෙදනාවනට සහජාත මනො සම්ඵස්ස සඞ්ඛ්‍යාත ඒ ඵස්සය ඒ සේ ම අට ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ.

 

මනොද්‍වාරයෙහි තදාරම්මණ වශයෙන් පැවැති කාමාවචර විපාක වේදනාවට මනෝද්‍වාරාවර්‍ජන සිතෙහි පැවැති මනො සම්ඵස්සය උපනිශ්‍ර‍ය වශයෙන් එක් ආකාරයකින් ම ප්‍ර‍ත්‍යය වේ.

 

මේ ඵස්ස පච්චයා වේදනා යන්නෙහි විස්තර කථාවයි.

 

7.  වේදනා ප්‍ර‍ත්‍යයයෙන් තෘෂ්ණාව වේ යන්නෙහි:-

 

“රූ තණ[707] ඈ බෙයින් - මෙහි සතණෙක් දැක්වී

එකෙකී පැවැති අයුරින් - තුන් - තුන් බෙයින් දතුයේ”

 

විස්තර:- ‘සිටු පුතු ය, බමුණු පුතුය යි, පියා නමින් පුතා හඳුන්වන්නාක් මෙන් රූපතෘෂ්ණායැ-ශබ්ද තෘෂ්ණායැ-ගන්‍ධ තෘෂ්ණායැ - රසතෘෂ්ණායැ-ස්පර්‍ශතෘෂ්ණායැ-ධර්‍මතෘෂ්ණායැ යි අරමුණේ නමින් විභඞ්ගයෙහි ෂඩ්විධ තෘෂ්ණාවෙක් දක්වන ලදී. නැවැතැ ඒ තෘෂ්ණා අතුරින් එක එක (පැවැති ආකාරයෙන්) කාමාස්වාද වශයෙන් පවත්නා ආකාරයෙන් කාමතෘෂ්ණා යැ. ශාස්වත දෘෂ්ටි වශයෙන් පවත්නා ආකාරයෙන් භවතෘෂ්ණා යැ. උච්ඡෙද දෘෂ්ටි වශයෙන් පවත්නා ආකාරයෙන් විභවතෘෂ්ණායැ යි ත්‍රිවිධ වේ.

 

විශේෂ:- ඇසට අරමුණු වූ රූපාලම්බනය කාමාස්වාද වශයෙන් ආස්වාදනය කරමින් පවත්නා කල එය කාම තෘෂ්ණාව යැ. ඒ ආලම්බනයම සදාකාලික ය, ස්ථිරය යි ශාස්වතදෘෂ්ටි සහගත වූයේ භවතෘෂ්ණාව යැ. එයම උච්ඡේදයට - විනාශයට පැමිණේය යි මෙ සේ දෘෂ්ටි සහගත වූයේ විභව තෘෂ්ණාවයි.

 

මෙහි කාමතෘෂ්ණාව ලෝභ මූලික සිත් අටෙහි ද, භව - විභව තෘෂ්ණා එහි ම දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත සතරෙහි ද යෙදේ.

 

ශබ්ද තෘෂ්ණාදියෙහි දු මෙ සේ මැයි. මෙ සේ තෘෂ්ණාව අටළොස් (18) වැදෑරුම් වේ.

 

එය නැවැතැ අධ්‍යාත්ම රූපාදියෙහි අටළොස යැ. වාහ්‍ය රූපාදියෙහි අටළොසයැ යි සතිස් (36) වැදෑරුම් වේ. මෙසේ අතීත සතිස යැ, වර්‍තමාන සතිස යැ, අනාගත සතිසයැ යි අටෝරාසියක් (108) ක් තෘෂ්ණා වේ. එය සැකෙවින් රූපාදි ආලම්බන වශයෙන් සයෙක, කාමතෘෂ්ණාදි වශයෙන් තුනෙකැයි දතයුතු.

 

මේ ලෙව්හි සත්ත්‍වයෝ පුත්‍ර‍ ප්‍රේමයෙන් කිරීමට සත්කාර කරන්නා සේ රූපාදී අරමුණු නිසා උපදනා සැප වේදනාවෙහි ආස්වාදයෙන් රූපාදි අරමුණු ලබා දෙන චිත්‍ර‍කාරාදීනට ද, ගී කියන්නට ද, සුවඳ දෙන්නට ද, අරක්කැමියනට ද, රෙදිවියන්නට ද, රසායනාදි බෙහෙත් දෙන වෙදුනට ද, මහත් සත්කාර කෙරෙත්.

 

එහෙයින් මේ සියලු අටෝරාසියක් තෘෂ්ණාව වේදනාව නිසා වේය යි දතයුතු.

 

“විවා සුව විඳුම ම - මෙහි අදහස් කරනුයේ

එක අයුරෙකින් ඒ මේ - එහෙයින් තණට පස වේ.”

 

වේදනාව තෘෂ්ණාවට එකම උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

(ආලම්බන ප්‍ර‍ත්‍යය තෙමේ උත්පාද්‍යමානයාහට ආලම්බන මාත්‍ර‍ය ම වෙයි. උපනිශ්‍ර‍යයෙහි ආලම්බනොපනිශ්‍ර‍ය සංගෘහීත ය, එහෙයින් මෙහි එක් අයුරින් වේය යි කීහු, යනු සත්‍යයි.)

 

“දුක්පත් සුව පතා - සුවපත් වැඩියක් පතා

මැදහත් බව් සත් බැවින් - සුවමැයැ යි ඒ පැවැසේ

 

“එයින් තුන් විඳුම මැ - තණට පස වනුයෙන් මෙහි

වෙයින් පසයෙන් තණයැ යි - ලෝ හිමියා වදහළේ”

 

“වෙයින් පස වතුදු - අනුසය කෙළෙස් නැතහොත්

තණ නො පවතිනුයෙන් ඒ - රහත්නට නොම වනුයේ”

 

දුක් ඇත්තෝ සුව පත යි, සුව ඇත්තෝ වැඩියක් පතයි, උපේක්‍ෂාව ශාන්ත හෙයින් සැපය යි කියන ලදී. එහෙයින් මේ සුඛ - දුඃඛ - උපේක්‍ෂා යන ත්‍රිවිධ වේදනාව ම තෘෂ්ණාවට ප්‍ර‍ත්‍යය වන හෙයින් වේදනා ප්‍ර‍ත්‍යය යෙන් තෘෂ්ණා වේය යි,  බුදුහු වදාළහ. වේදනා ප්‍ර‍ත්‍යයවතුදු රහත්නට අනුසය නැති හෙයින් වේදනාව තෘෂ්ණාවට ප්‍ර‍ත්‍යය නො වේ. අනුසය නැතිවැ නො පවත්නා හෙයිනි.

 

වෙදනා ප්‍ර‍ත්‍යයෙන් තෘෂ්ණාව වේ  යන්නෙහි විස්තර කථාවයි.

 

8.  තෘෂ්ණා ප්‍ර‍ත්‍යයෙන් උපාදාන වේ. යන්නෙහි

 

උපාදාන සතරෙකි, ඔහු

1.  අර්‍ථ විශාලයෙන් ද,

2.  උපාදාන ධර්‍මයන් ගේ සංක්‍ෂේප වශයෙන් ද‍

3.  විස්තරයෙන් ද,

4.  ක්‍ර‍ම වශයෙන් ද විස්තර කරනු ලැබේ.

 

කාමූපදාන යැ, දිඨූපාදාන යැ, සීලබ්බතූපාදාන යැ, අත්තවාදූපාදානයැ යි මෙහි සතර උපාදානය දතයුතු.

 

1. මේ අර්‍ථ විශාලය යැ. කාම නම් රූපාදී (ආලම්බන) වස්තු යැ. එය දැඩිව ගැනීම් වශනේ ආස්වාදනය කළ අධික තෘෂ්ණාව කාමූපාදානය යි. තවද කාමය ම උපාදාන වූයේ කාමූපාදානයයි, කී කල කැමති වන්නා උපාදානය යැ. (ඒ නම් කාමතෘෂ්ණාව යැ. ක්ලේශ කාමය කාමූපාදානය යි මේ දෙක්හිම උපාදාන ශබ්දය කර්‍තෘසාධනයැ දැඩිවැ ගන්නා උපාදානය යැ.) දැඩිව ගැනීම උපාදානය යි. මෙහි උප ශබ්දය “උපායාස” යනාදි යෙහි මෙන් දෘඪාර්‍ථයෙහි වැටේ. දැඩි ආයාසය උපායාසය යි. එසේ ම දිඨයම උපාදාන වූයේ දිඨූපාදානය යැ. තවද දිඨය දැඩිය ගනීනු යි හෝ දිඨූපාදානය යැ.

 

නිදර්‍ශන:- ආත්මය ද, ලෝකය ද, ශාස්වතයැ යි කී කල පළමු පැවැති දෘෂ්ටිය, පසුවැ-පසුවැ උපදනා දෘෂ්ටිය දැඩි කොට ගනී. “නත්‍ථි දින්නං” ‘දුන් දෙයට විපාක නැත’ යනාදි දශ වස්තුක නාස්තික දෘෂ්ටිය හෝ දිඨුපදාන නමි. ගෝශීල-ගෝව්‍ර‍තාදීන් බලවත් සේ ගැනීම සීලබ්බතූපාදානය යැ.

 

විශේෂ:- ගොශීලාදිය සමාදාන වශයෙන් ගැනීම සීල නම් වේ. එව අව්‍යතීක්‍ර‍ම වශයෙන් ව්‍ර‍ත නම් වේ. තවද ගෝ ආකාරයම සීලය යි. අතරතුර කරන ගෝ ක්‍රියා ව්‍ර‍තය යි, මේ ගොශීල-ව්‍ර‍තාදිය සහචරිත වූ දැඩි කොට ගැනම සීලබ්බතූපාදානය යි.

 

බලවත් සේ ආත්මය යි පැනවීමට ද, ගැනීමට ද, කරුණු වූ දෘෂ්ටිය අත්තවාදූපාදානය යි. ආත්මය යන වචන මාත්‍ර‍ය හෝ ඒ කරණ කොට දැඩිවැ ගන්නා හෙයින් හෝ ආත්මවාදෝපාදාන නම් වේ. උපාදානයන් ගේ අර්‍ථ විභාගය යි.

 

2. ධර්‍ම සංක්‍ෂේප වශයෙන් මෙ සේ යි.

 

කාමූපාදානය නම් “තත්‍ථ කතමං කාමූපාදානං, යො කාමෙසු කාමච්ඡන්‍දො, කාමාරාගො, කාමනන්‍දි, කාමතණ්හා, කාමසිනෙහො, කාමපරිළාහො, කාමමුච්ඡා, කාමාජ්ඣොසානං ඉදං වුච්චති කාමූපාදානං”[708] පඤ්චකාම විෂයයෙහි ඇලීම ය, කැමැතවීම් වශයෙන් රැඳීම ය. නන්දන (සතුටුවීම්) වශයෙන් කැමැතිවීම ය, ආසාකිරීම් වශයෙන් කැමැතිවීම ය, ස්නේහ කිරීමය ය, දැවීම ය, මුසපත් වීමය, ගැලීම ය, යන මේ කාමුපාදානයැ යි ආ හෙයින් සැකෙවින් තෘෂ්ණාව ගේ දෘඪත්‍වය යැ ඒ වූ කලී පළමු තෘෂ්ණාව ගේ උපනිශ්‍ර‍ය ලැබ දැඩි බවට පැමිණි පසු උපදනා තෘෂ්ණාව මැ යි.

 

මතභෙදයෙකි:- අඳුරෙහි බඩු සෙවීම පිණිස සොරා ගේ අත දිගු කිරීම මෙන් නො ලද විෂය පැතීම තෘෂ්ණා නමැ යි ද, ඒ සොරා ගේ ම බඩු ගැනීම මෙන් හමු වූ අරමුණු ගැනීම උපාදානය යැ යි ද කිසි කෙනෙක් කියති.

 

තෘෂ්ණාව විෂයාභිකාංක්‍ෂා භාවයෙන් අල්පෙච්ඡ භාවයට ප්‍ර‍තිපක්‍ෂ යැ. තෘෂ්ණා දෘඪත්වයට පැමිණි අත්‍රිච්ඡතාව හෙයින් උපාදානය සන්තුෂ්ටියට ප්‍ර‍තිපක්‍ෂ යැ. එසේ ම තෘෂ්ණාව අප්‍රාප්ත විෂය ප්‍රාර්‍ථනය හෙයින් පර්‍යෙෂණා දුඃඛ මූල යැ. උපාදාන ය සම්ප්‍රාප්ත විෂය ග්‍ර‍හණය හෙයින් ආරක්ෂා දුඃඛ මූලයැ යි යෙති.

 

විශේෂ:- සෙසු උපාදාන සැකෙවින් දෘෂ්ටිමාත්‍ර‍ය මැයි.

 

(3) විස්තර වශයෙන් :- පෙරැ කී සේ රූපාදීන් පිළිබඳ අටෝරාසියක් (108) භෙදගත තෘෂ්ණාව ගේ දැඩි  බව කාමුපාදානය යැ.

 

දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය දිට්ඨූපාදානය යැ.

 

එයින් වදාළහ. “තත්ථ කතමං දිට්ඨූපාදානං, නත්‍ථි දින්නං, නත්‍ථියිඨං, නත්‍ථිහුතං -පෙ- සච්ඡකත්‍වා පවෙදෙන්ති. යා එව රූපාදිට්ඨි, විපරියෙසගාහො ඉදං වුච්චති දිට්ඨූපාදානං”[709] යි

 

(1) දුන් දෙයෙහි විපාක නැත,

 

(2) මහායාගාදියෙහි ඵළ නැත,

 

(3) ආමන්ත්‍ර‍ණය කොට දීමෙහි ද, ආගන්තුක වශයෙන් පැමිණිය වුනට දීමෙහි ද, මඞ්ගල ක්‍රියා පිළිබඳ වූ දීමනාවෙහි ද විපාක නැත.

 

(4) දශ කුශල කර්‍මපථ, අකුශල කර්‍මපථ වශයෙන් පැවැති සූකෘත දුෂ්කෘත කර්‍මයන් ගේ ඵල විපාක නැත. (මේ සෙ ම පෙරැ කී දානාදීන්හි ද, ආනිසංස ඵල හා විපාක ඵල නැතැයි කීවා වේ.)

 

(5) පරලොව සිටියනට මෙ ලොව නැත.

 

(6) මෙ ලොව සිටියනට පරලොව නැත.

 

(එහිම උච්ඡේද වන හෙයින් පරලොව සිටියහුට මෙ ලොව ඊමෙක් නැත.)

 

(7-8) මව්-පියනට කළ මනා නො කළ මනා උවටැන් හා පීඩා ආදියෙහි ඵල නැත.

 

(9) පළමු භවයෙන් චුතවැ දෙ වන භවයෙහි උපදනා සත්ත්‍වකෙනෙක් නැත.

 

(10) අනුලෝම ධර්‍මනුධර්‍ම ප්‍ර‍තිපත්තියට පිළිපන් හෙයින් සම්‍යක්ගත වූ සම්‍යක් ප්‍ර‍තිපන්න වූ ධාර්මික ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෝ නැත.

 

(මෙ ලෝ පරලෝ තුමූම විශිෂ්ට ඥානයෙන් ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් දැන ප්‍ර‍කාශ කිරීමට සමර්‍ථ වූ සර්‍වඥ බුදුවරයෝ නැතැයි කියායි) මෙ සේ යම්බඳු දෘෂ්ටියක් (විපරීත ග්‍ර‍හණයක්) ඇත්නම් ඒ දිට්ඨූපාදානය යි.

 

ශීල-ව්‍ර‍තයන් ගෙන් ශුද්ධිය වේයැ යි පරාමාර්‍ශ ග්‍ර‍හණය ශීලව්‍රතොපාදානය යි.

 

එයින් වදාළහ. “තත්‍ථ කතමං සීලබ්බතූපාදනං, සීලෙන සුද්ධි, වතෙන, සුද්‍ධි, සීලබ්බතෙන සුද්‍ධිති යා එවරූපා දිට්ඨි - පෙ - විපරීයෙසාගාහො ඉදං වුච්චති සීලබ්බතුපාදානං”[710] එහි සීලබ්බතුපාදානය කවරේද, ශීලයෙන් ශුද්ධිය, ව්‍ර‍තයෙන් ශුද්ධිය යි යම් විපරීත ගැනීමෙක් වේ නම් එය ශීලව්‍ර‍තොපාදානය යි.’

 

විංශති (20) වස්තුක ස්වකාය දෘෂ්ටිය ආත්මවාදොපාදා නමි එයින් වදාළහ. “තත්‍ථ කතමං අත්තවාදූපාදානං ඉධ අස්සුතවා පුථුජ්ජනො -පෙ- සප්පුරිස ධම්මෙ අවිනීතො -පෙ- අත්තතො සමනු පස්සති -පෙ- විපරීයෙසගාහො ඉදං වුච්චති අත්තවාදුපාදානං”1 ‘එහි ආත්මවාදොපාදානය කිම? මේ ලෝකයෙහි ආගම අධිගම රහිත හෙයින් අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ -පෙ- සත්පුරුෂ ධර්‍මයෙහි නොහික්මුණේ රූපය ආත්මය යි ගනී, -පෙ- එබඳු විපර්‍ය්‍යාස ග්‍ර‍හණය ආත්මවාදොපාදාන ග්‍ර‍හණය නමි. (මේ පිළිබඳ විස්තර මජ්ඣිම නිකාය මූල පර්‍ය්‍යාය සූත්‍ර‍, ධම්මසඞ්ගණී අටුවාවන්හි[711] දතයුතු)

 

මේ ධර්‍ම සංක්‍ෂේප විස්තරය යි.

 

4. ක්‍ර‍ම වශයෙන්,

 

මෙහි ක්‍ර‍මය

 

(i) උත්පත්ති ක්‍ර‍මය

 

(ii) ප්‍ර‍හාණ ක්‍ර‍මය

 

(iii) දේශනා ක්‍ර‍මය යි ත්‍රිවිධ යැ. “නැති හෙයින් නො දන්නා ලද අග ඇති සංසාරයෙහි මොහු ගේ පළමු උපතය යි” නැති හෙයින් ක්ලේශයන් ගේ (නිශ්පර්‍ය්‍යාය වශයෙන්) මුඛ්‍ය හෙයින් උත්පත්ති ක්‍ර‍මයක් නැති. පර්‍ය්‍යායයෙන් වනාහි බෙහෙවින් එක් අත්බැවෙකැ ආත්ම දෘෂ්ටිය පෙරටු කොට ඇති ශාස්වත - උච්ඡේද දෘෂ්ටි වශයෙන් අභිනිවෙශය (ගැනීම) වේ.

 

අනතුරුවැ ‘මේ ආත්මය ශාස්වතයැ, යි ගන්නාහට ආත්ම - විශුද්ධිය පිණිස ශීල - ව්‍රතොපාදානය වේ. ‘මේ ආත්මය උච්ඡේද වේය’ යි ගන්නා පරලොව අපෙක්‍ෂා නැත්තාහට කාමූපාදානය උපදී.

 

මෙසේ පළමු ආත්මවාදොපාදානය ද අනතුරුවැ දිට්ඨි - සීලබ්බත - කාමූපාදාන ද වේ. මේ එක් අත්බැවෙකැ ඔවුන් ගේ උත්පත්ති ක්‍ර‍මය යි.

 

විශේෂ:- ප්‍ර‍කෘති - අණු - ආදීන් ගේ ශාස්වතග්‍රාහ පූර්‍වඞ්ගම කොට ඇත්තාවූ ද, ශරීරයා ගේ උච්ඡේදග්‍රාහ පූර්‍වඞ්ගම කොට ඇත්තාවූ ද, ඒ ශාස්වත - උච්ඡේද ග්‍ර‍හණයට ස්වාමී වූ ශාස්වත වූ හෝ උච්ඡේද වූ හෝ කිසියම් ආත්මයක් ඇතැයි එබඳු ආත්ම ග්‍රාහකයෙක් වන්නේය යි කිසි කලෙක මෙහි බෙහෙවින් යැ යි කියන ලදි. මේ ආත්ම දෘෂ්ටිය අර්‍ථ වශයෙන් ස්කන්‍ධ ආලම්බන කොට ඇත්තේ ම දතයුතු. භවරාග ජවන විථිය සියල්ලට පළමු පවත්නා නමුදු පිළිසිඳ ගත්තහුට භව නිකාන්තිය පවත්නා බැවින් ද, ඒ භව රාගය තෘෂ්ණා දෘඨත්‍වය නො වේ ය යි සිතා කාමූපාදානය සියල්ලට පළමු උපදීය යි නො කීහ.

 

(ii) ප්‍ර‍හාණ ක්‍ර‍මය, සතර උපාදාන අතුරින් සොතාපත්ති මාර්‍ගයෙන් ප්‍ර‍හීණ වන හෙයින් දිට්ඨුපාදානාදි තුන පළමු ප්‍ර‍හීණ වේ. අර්‍හන්මාර්‍ගවධ්‍ය හෙයින් කාමුපාදානය පසුවැ ප්‍ර‍හීණ වේ.

 

විශේෂ:- තෘෂ්ණා යැ, කාමුපාදානයැ යි විභාග නො කළ කල මේ සියලුම තෘෂ්ණාව කාමුපාදානය යි දතයුතු. විභාග කළ කල්හිදු කාම රාගයෙන් භින්න වූ දෘඪත්‍වයට පැමිණි තෘෂ්ණාව කාමුපාදානය යි. එය අර්‍හන්මාර්‍ගවධ්‍යය යි කීහ.

 

(iii) දේශනා ක්‍ර‍මය, මහා විෂය වන බැවින් ද, ප්‍ර‍කට හෙයින් ද, කාමුපාදානය පළමුව වදාළහ.

 

ඒ මෙසේ යි: ලෝභමූලික සිත් අටෙහි යෙදී පැවැත්මෙන් ද, ප්‍ර‍කට බැවින් ද, මේ චතුරුපාදානයන් අතුරින් කාමුපාදානය පළමුවැ වදාළහ.

 

(සිත් සතරෙක පවත්නා බැවින්) සෙසු තුන පසුවැ වදාළහ ලොකයා බෙහෙවින් පඤ්චකාමයෙහි ඇලෙන හෙයින් කාමුපාදානය ප්‍ර‍කට යැ. සෙසු උපාදාන එසේ ප්‍ර‍කට නොවේ. කාමුපාදාන ඇත්තේ ද වස්තුකාමය ලැබීම සඳහා සැප-දුක් කර්‍මයෙන් වේය යි නො ගෙන දිඨමඞ්ගලාදිය වශයෙන් පවත්නා කොතුහල මඞ්ගලාදිය බොහෝ කොට ඇත්තේ වේ. ඒ කාමුපාදානය ඇත්තහුට පසුවැ දිඨූපාදානය වේය යි සෙස්ස පසුව කීහ.

 

ඒ දිඨූපාදානය ද සීලබ්බත -අත්තවාද වශයෙන් විවිධ වේ. ඔවුනතුරින් ගො ක්‍රියා - කුක්කුර ක්‍රියාදිය දැක ද දතහැකි හෙයින් සීලබ්බතුපාදානය පළමුවැ වදාළහ. සූක්‍ෂම හෙයින් අන්තවාදුපාදානය පසුවැ වදාළහ. මේ මොවුන් ගේ දේශනා ක්‍ර‍මය යැ.

 

ඔවුනතුරින් කාමුපාදානයට තෘෂ්ණා උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය වශයෙන් එක් අයුරින් ද, තෘෂ්ණාවෙන් අභිනන්දිත විෂයෙහි උපදනා හෙයින් සෙසු තුනට සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - සම්පයුත්ත - අත්‍ථි - අවිගත - හෙතු වශයෙන් සත් පරිද්දෙකින් හෝ උපනිශ්‍ර‍ය ද සමග අට අයුරෙකින් ද ප්‍ර‍ත්‍යය වේ.

 

විශේෂ:- උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය වන කල හජාත ප්‍ර‍ත්‍යය නො වේ.

 

මේ ‘තෘෂ්ණා ප්‍ර‍ත්‍යයෙන් උපාදාන වේ’ යන්නෙහි විස්තර කථාවයි.

 

9.  උපාදාන ප්‍ර‍ත්‍යයයෙන් භවය වේ’ යන්නෙහි

 

1.  අන්‍ථති වශයෙන් ද

2.  ධර්‍ම වශයෙන් ද

3.  සාත්ථක වශයෙන් ද

4.  භෙද වශයෙන් ද

5.  සංග්‍ර‍හ වශයෙන් ද

6.  යම් උපාදානයෙක් යම් භවයකට ප්‍ර‍ත්‍යය වේ නම් ඒ වශයෙන් ද දතයුතු

 

1. අත්ථි වශයෙන් : “භවතීත = භවො” වේ නුයි භව නමි. මින් කර්‍ම භවය, උප්පත්ති භවය ය දෙක ම කියන ලදී.

 

ඉන් කර්‍ම භවය ඵලුපවාරයෙන් ද, උප්පත්ති භවය මුඛ්‍යාර්ථයෙන් ද වේ.

 

එයින් කීහ:- ‘භවො දුවිධෙන, අත්‍ථි කම්මභවො අත්‍ථි උපපත්ති භවො[712] යි භවය දෙපරිදි වේ. කර්‍ම භවයෙකුදු ඇති, උපපත්ති භවයෙකුදු ඇති, එහි කර්‍මය මැ කර්‍ම භවයැ. උපපත්තිය මැ උපපත්ති භවයැ. මෙහි ‘උපපත්තිය වේය’ යි භව නම් වේ. (විපාකස්කන්‍ධයෝ යි) කර්‍මය විපාකස්කන්‍ධයනට කරුණු වන හෙයින් ඵලොපචාර වශයෙන් භව නම් වේ. “අත්තනො ඵලං කරෙතීති කම්මං” යි කීයේ එහෙයිනි.

 

නිදර්‍ශන:- බුද්ධොත්පාදය සැපයට කරුණු වන හෙයින් බුද්ධොත්පාදය “සුඛො බුද්ධානං උප්පාදො” යි කීවාක් මෙනි.

 

මෙසේ අත්‍ථි වශයෙන් විනිශ්චය දතයුතු.

 

(2) ධර්‍ම වශයෙන්

 

කර්‍ම භවය සැකෙවින් චේතනා හා චේතනා සම්ප්‍ර‍යුක්ත අභිධ්‍යාදි ධර්‍මයෝ යි.

 

එයින් කීහ : “තත්‍ථි කතමො කම්මභවෝ පුඤ්ඤාහභිසංඛාරො. අපුඤ්ඤභිසංඛාරො. ආනෙඤ්ජාභිසංඛාරො. පරින්තභූමකො වා, මහාභූමකෙ වා, අයං වුච්චති කම්මභවෝ[713] එහි කර්‍මභවය කිම? කාමාවචර භූමික වූ හෝ මහග්ගත භූමිත (රූපාවචර භූමික - අරූපාවචර භූමික) වූ හෝ පුඤ්ඤාභි - සංඛාරය ද, අපුඤ්ඤාභිසංඛාරය ද, අනෙඤ්ජාභිසංඛාරය ද, කර්‍ම භව නමි. “සබ්බං එවගාමි කම්මං කම්මභවො”1 සියලු භවගාමි කර්‍මය කර්‍ම භවය යි.

 

විස්තර : මෙහි පුඤ්ඤාභිසංඛාරය කාමාවචර කුසල චේතනා අට හා රූපාවචර පසදැයි තෙළෙස් (13) සිත්හි වූ චේතනා යි. අපුඤ්ඤාභිසඞ්ඛාර නම් දොළොස් (12) අකුසල චේතනායි. සතර අරූපාවචර කුසල් සිත්හි චේතනාව අනෙඤ්ජාභිසංඛාර නමි.

 

විශෙෂ: මෙ සේ පරිත්ත භූමකය, මහග්ගත භූමකය යි කීමෙන් ඒ චෙතනාවන්ගේ ම විපාක ස්වරූපය කියන ලදී. සියලු භවගාමී කර්‍මය යි කීමෙන් ඒ චේතනා සම්ප්‍ර‍යුක්ත අභිධ්‍යාදිය ආවය ගාමී හෙයින් ඔවුන් ගේ කර්‍මත්‍වය කියන ලදී. එහෙයින්ම කර්‍මභව පර්‍ය්‍යපන්ත බව පර්‍ය්‍යා යෙන් කීයේ වෙයි. නිෂ්පර්‍ය්‍යාය (මුඛ්‍යාර්ථ) යෙන් චෙතනාව ම කර්‍ම භවය යි.

 

කර්‍මයෙන් නිපන් ස්කන්‍ධයෝ උපපත්ති භව නම. ප්‍රභේදයෙන් වනාහි ඒ නව වැදෑරුම් වේ.

 

ඒ මෙ සේ යි:- තත්‍ථ කතමො උපපත්තිභවො, කාමභවො, රූපභවෝ, අරූපභවො, සඤ්ඤාභවො, අසඤ්ඤාභවො, නෙවසඤ්ඤානාසඤ්ඤාභවො, එකවොකාරභවො චතුවොකාර භවො, පඤ්චවොකාරභවො අයං වුච්චති උපපත්තිභවො”[714] එහි උපපත්ති භවය කවරේ ද එකොළොස් (11) කාමාවචර භවය, සොළොස් (16) රූප භවය, සතර අරූප භවය, (අසඤ්ඤසත්තය) අසඤ්ඤ භවය, (නෙවසඤ්ඤානාසඤ්ඤායතනය) නෙවසඤ්ඤානාසඤ්ඤාභවය (සෙසු එකුන් තිස) (29) සඤ්ඤ භවය යි. (අසඤ්ඤසත්ත සඞ්ඛ්‍යාත) එකවොකාර භවය (පඤ්චස්කන්ධ යුක්ත සෙසු කාම-රූප භව) පඤ්චවොකාර භවය. (වොකාර නම් ස්කන්ධ යැ) මෙ සේ භවය තුන්-තුන් වශයෙන් වෛනෙය අධ්‍යාශය අනුවැ බෙදන ලදුවත් ඒ තුන් කොටසට ඇතුළත් වනුයේ එකම භූමි යැ.

 

තව ද මේවායේ භවයයැ යි ගැනෙනුයේ ඒ ඒ භූමීන්හි උපදනා උපාදාන ස්කන්ධයෝ යි. ඒ අවීචියෙහි පටන් පරනිර්මිත වශවර්තිය තෙක් වූ කාම භූමි ය.

 

රූප රාගයෙන් යුත් බ්‍ර‍හ්මපාරිසද්‍යයෙහි පටන් අකනිඪකයෙන් පරිච්ඡින්න වූ උපාදාන ස්කන්‍ධ රූප භව යැ. අරූප තෘෂ්ණායෙන් ගන්නා ලද ආකාසනඤ්චාවතනයෙහි පටන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් පිරිසිඳින ලද උපාදින්නස්කන්ධ අරූප භවයැ. සංඥාවත්හි ගේ හෝ සංඥා ඇති භවය (කාම භව හා අසඤ්ඤසත්තය හැර සෙසු රූප භව ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනය හැර සෙසු අරූපභව ද) සඤ්ඤා භව නමි.

 

සඤ්ඤා නැත්තහු ගේ හෝ සඤ්ඤා නැති භවය අසඤ්ඤ භව නමි. ඖදාරික සංඥාව නැති බැවින් ද සූක්‍ෂම සංඥා ඇති බැවින් ද නෙවසඤ්ඤානාසඤ්ඤා භව නමි. එක ම රූපස්කන්ධයක් ඇති භවය ඒකවොකාර භව යැ. චතු - පඤ්චවොකාර එසේ මැ යි. නාමස්කන්ධ සතර ඇත්තේ චතුවොකාර භව යැ. පඤ්චස්කන්ධය ම ඇත්තේ පඤ්චවොකාර භවය යි. මෙ සේ ධර්‍ම වශයෙන් විනිශ්චය දතයුතු.

 

(3)සාර්ථක වශයෙන්

 

මේ භව නිර්‍දෙශයෙහි පුණ්‍යාභිසංස්කාරාදිය කීවා සේ පෙර සංස්කාර නිර්‍දෙශයෙහි ද පුණ්‍යාභිසංස්කාරාදිය ම කියන ලදී. එසේ වන්නා පෙර කී “අවිජ්ජා පච්චයා සංඛාර” යන්නෙන් පූර්‍ව සංස්කාර නිර්‍දෙශයෙහි අතීත භවයෙහි කර්‍ම වශයෙන් මේ භවයෙහි ප්‍ර‍තිසන්ධියට ප්‍ර‍ත්‍යය හෙයින් සංස්කාර කියන ලදි.

 

මේ “උපාදාන පච්චයා භවො” යන්නෙන් කියන ලද සංස්කාර වර්‍තමාන භවයෙහි කර්‍ම වශයෙන් ආයති භවයෙහි ප්‍ර‍තිසන්ධියට ප්‍ර‍ත්‍යය වන බැවින් නැවැත සංස්කාරයන් කීම සාර්ථක මැයි.

 

විශේෂ:- පෙර කී තන්හි “තත්‍ථි කතමො පුඤ්ඤාහි සංඛාරො කුසලා චේතනා කාමාවචරා”[715] යනාදීන් කුසල චේතනාදී වශයෙන් කියන ලදී. මෙහි ‘සියලු භවගාමී කර්‍මය යි’ කී හෙයින් චේතනා සම්ප්‍ර‍යුක්ත අභිධ්‍යාදීහු ද ගැනෙති.

 

තවද පෙරැ ‘විඥානයට ප්‍ර‍ත්‍යය වූ ම කර්‍මය සංඛාරය’ යි කියන ලදී. දැන් අසංඥ භවයෙහි උපදනා කර්‍මය ද භවයැ යි කියන ලදී. බෙහෙවින් කුමට යැ? පෙරැ පුණ්‍යාභිසංස්කාරාදිය ම වූ කුශලාකුශල ධර්‍ම කියන ලදී. මෙහි උත්පත්ති භවය ද සංග්‍ර‍හ වන හෙයින් කුශලාකුශල අව්‍යාකෘත ධර්‍මයෝ කියන ලදහ. එහෙයින් සර්‍වප්‍ර‍කාරයෙන් මේ නැවැත කීම සාර්ථක මැයි.

 

‍ෙමෙ සේ සාර්ථක වශයෙන් විනිශ්චය දතයුතු.

 

(4) හෙද හෙයින්

 

උපාදාන ප්‍ර‍ත්‍යයයෙන් වන්නා වූ භවයාගේ භෙද වශයෙන් ද, මෙ සේ යි: කාමුපාදාන ප්‍ර‍ත්‍යයයෙන් කාම භවයෙහි උපදවන්නා වූ නිපදවන කර්‍මයක් කරනු ලැබේ නම් එය කර්‍ම භව නමි. එයින් නිපදවන ලද ස්කන්ධ උප්පත්ති භවය යි. රූප-අරූප භවයන්හි ද මෙ සේ මැ යි.

 

විශේෂ:- කාමුපාදාන ප්‍ර‍ත්‍යයයෙන් උපදවන යම් කර්‍මයක් කෙරේ නම් එය කර්‍ම භව යැ. එයින් නිපන් ස්කන්ධ උප්පත්ති භවය යි. ඒ කාම භවයෙහි ඇතුළත් සංඥා භව යැ, පඤ්චවොකාර භව යැ යන දෙකක් ද, ඒ රූප භවයෙහි ම ඇතුළත් වූ සඤ්ඤා භව අසඤ්ඤ භව - එක වොකාර භව - පඤ්ච වොකාර භව - යන මොවුන් ද (අරූප) කර්‍ම භව යැ, උප්පත්ති භවයැ යි අරූප භව දෙකක් ද එහි ම සඤ්ඤ භව -නෙවසඤ්ඤානාසඤ්ඤා භවචතුවොකාර භව යන මොවුන් ද, ඇතුළත් වූ භවයන් සමග කාම භව දෙක යැ, රූප භව දෙක යැ, අරූප භව දෙකයැ යි භවයෝ සදෙනෙක් වෙති.

 

එසේ ම (කාමූපාදාන ප්‍ර‍ත්‍යයටෙව් භවය සයක් වන්නා සේ) දීඨූපාදාන - සීලබ්බතුපාදාන - අත්තවාදූපාදාන යන තුන් උපාදාන ප්‍ර‍ත්‍යය භෙදයෙන් අන්තර්‍ගත භවයන් හා සූවිසි (24) භව කෙනෙක් වෙති.

 

(5) සංග්‍ර‍හ වශයෙන්:- කර්‍ම භවය උප්පත්ති භවය ද එක් කොට කාමූපාදාන ප්‍ර‍ත්‍යයයෙන් අන්තර්‍ගත භවයන් සමග එක් කාම භවයෙක, එසෙ ම එක් රූප භවයෙක, එක් අරූප භවයෙකැ යි භව තුනෙකි. සෙසු උපාදාන ප්‍ර‍ත්‍යයෙනුදු එසේ ම තුන් - තුන් භවයෝයැ යි මෙ සේ උපාදාන ප්‍ර‍ත්‍යයයෙන් සංග්‍ර‍හ හෙයින් අන්තර්‍ගත භවයන් සමග භව දොළසෙකි. (12) තව ද උපාදාන වශයෙන් භෙද නො කොට උපාදාන ප්‍ර‍ත්‍යයයෙන් වූ කාම භවයට පමුණුවන කර්‍මය කර්‍ම භවයැ. එයින් නිපන් ස්කන්‍ධ උපපත්ති භව යැ. රූප-අරූප භවයෙහි දු මෙම නය යි.

 

මෙ සේ උපාදාන ප්‍ර‍ත්‍යයයෙන් අන්තර්‍ගත භවයන් සමග කාම භව දෙක යැ. රූප භව දෙක යැ, අරූප භව දෙකයැ යි අනෙක් ආකාරයකින් සංග්‍ර‍හ කිරීමෙන් භව සයෙකි.

 

තවද කර්‍ම භව උපපත්ති භව භෙදය නො ගෙන අන්තර්‍ගත භවයන් සමග කාම-රූප-අරූපයැ යි භව තුනෙක් වේ.

 

එසේ ම කාම භවාදී භේදය නො ගෙන කර්‍ම භව - උප්පත්ති භව වශයෙන් භව දෙකෙක් වේ.

 

කර්‍මභව- උප්පත්තිභව භේදය ද නො ගෙන උපාදාන ප්‍ර‍ත්‍යය යෙන් භවයැ යි කී භව වශයෙන් එකෙක් වේ. මෙ සේ උපාදාන ප්‍ර‍ත්‍යයයෙන් භවයා ගේ සංග්‍ර‍හ වශයෙන් විනිශ්චය දතයුතු.

 

6. “යං යස්ස පච්චයො හොති චෙව” යි යම් උපාදානයෙක් යම් භවයකට ප්‍ර‍ත්‍යය වේ නම් එයනුදු විනිශ්චය දතයුතු.

 

ප්‍ර‍ශ්න:- කවර උපාදානයෙක් කවර භවයකට ප්‍ර‍ත්‍යය වේ ද

 

පිළිතුරු:- යම්කිසි උපාදානයක් යම්කිසි කුශලයනට හෝ අකුශලයකට හෝ ප්‍ර‍ත්‍යය වේ මැයි.

 

ඒ මෙසේ යි:- පුහුදුන් තෙමේ උමතුවකු මෙනි. හෙතෙමේ මේ යුතු යැ. මේ අයුතුයැ යි නො විචාරා යම්කිසි උපාදානයක ගේ වශයෙන් යම්කිසි භවයක් පතා කාමාවචරාදි යම්කිසි කර්‍මයක් කෙරේ මැයි.

 

මතභෙද:- ‘ගෝසීල - අජසීල - කුක්කුර සීලාදී ශීල - ව්‍ර‍ත සමාදානයෙන් ගෙරින් - එළුවන් - බල්ලන් සමග උපදිතැ යි ද එහෙයින් ඔවුනට ධ්‍යාන නැතැ යි ද ශීල-ව්‍රතොපාදානයෙන් රූප-අරූප භව නො වේය, යි සමහර ආචාර්‍ය්‍යවරයෝ යෙති ඔවුන් ගේ වචනය නො ගත යුතුයි.

 

නිර්‍ණය:- සියලු උපාදානයෙන් සියලු භවය වේ යයි ගතයුතු. පෙර කී භෙද ප්‍ර‍ත්‍යය වන හෙයින් රූප-අරූප භවයන්හි උපැත්ම ද විය හැක්ක.

 

විස්තර :- මේ ලෝකයෙහි අනුශ්‍ර‍ව (=ඇසීම්) වශයෙන් හෝ මිනිස් ලොව කාමය සමෘද්ධය දෙව්ලොව එයට වැඩියෙන් සමෘද්ධ තරයැ යි මෙ සේ දුටු දැය අනුවැ සිතීමෙන් හෝ මේ කම නම් මිනිස් ලොව ක්‍ෂත්‍රිය මහාසාර කුලාදියෙහි ද, කාමාවචර සදෙව් ලෙව්හි ද, සමෘද්ධය යි සිතා ඒ ලැබීම පිණිස අසද්ධර්‍මයන් (පුරාණ - භාරත - රාමයනාදිය) ඇසීම් ආදියෙන් රවටන ලදුවැ මේ කර්‍මයෙන් කාම සමෘද්ධ වේය යි සිතා කාමූපදාන වශයෙන් කාය දුශ්චරිතාදිය හෝ කෙරේ ද හෙතෙම දුසිරිත් පිරීමෙන් අපායයෙහි උපදී.

 

තවද මේ ලෙව්හිදී ලැබෙන කාමයන් (රාජ්‍ය සම්පත් ආදී වස්තුන්) පතමින් ලැබූ වස්තුව හෝ රැකීමට කාමුපාදාන වශයෙන් කාය දුශ්චරිතාදිය කෙරේ හෙතෙම ඒ දුසිරිත් පිරීමෙන් අපායයෙහි උපදී. ඔහු ගේ එහි ඉපදීමට හේතු වූ ඒ කර්‍මය කර්‍ම භව යැ. ඒ කර්‍මයෙන් නිපන් ස්කන්‍ධ උපපත්ති භවය යි. සඤ්ඤා භව - පඤ්චවොකාර භවය ද එයට ම ඇතුළති.

 

අනෙක් සද්ධර්‍ම ශ්‍ර‍වණාදීන් වඩනා ලද නුවණ ඇතිවැ මේ කර්‍මයෙන් කාම සමෘද්ධ වේයැ යි සිතා කාමූපාදාන වශයෙන් කාය සුචරිතවාදිය කර යි, හෙතෙම එසේ සුචරිත පිරීමෙන් දෙව් ලොව හෝ මිනිස් ලොව හෝ උපදී. ඔහු ගේ එහි ඉපදීමට හේතු වූ කර්‍මය කර්‍ම භව යැ. ඒ කර්‍මයෙන් නිපන් ස්කන්‍ධ උපපත්ති භවය යි. සඤ්ඤා භව - පඤ්චවොකාර භවයෝ ද, එයට ම ඇතුළත් වෙති. මෙ සේ කාමූපාදානය සුගති - දුර්‍ගති වශයෙන් ප්‍රභේද සහිත සඤ්ඤා භව - පඤ්චවොකාර භව වහයෙන් ඒක දෙශයකින් ඇතුළත් භවයන් සහිත කාම භවයට ප්‍ර‍ත්‍යය වේ.

 

අනෙකෙක් රූප-අරූප භවයන්හි ඒ කාම භවයට වඩා (කාමය) සමෘඬතරයැ යි අසා හෝ අනියමින් සලකා හෝ රූප-අරූප සමාපත්ති උපදවා ඒ සමාපත්ති බලයෙන් රූප-අරූප බ්‍රහ්ම ලෝකයන්හි උපදී. ඔහුට එහි ඉපදීමට හේතුවූ කර්‍මය කර්‍ම භව යැ. එහි උපන් ස්කන්‍ධ උපපත්ති භවය යි. සඤ්ඤා භව - අසඤ්ඤාභව - නෙවසඤ්ඤානාසඤ්ඤාභව - එක වොකාර භව - චතුවොකාරභව - පඤ්චවොකාරභවයෝ ද එහිම ඇතුළත් වෙති. මෙ සේ කාමූපාදානය ප්‍රභේද සහිත වූ සඤ්ඤා භවාදී වශයෙන් අන්තර්‍ගත භවයන් සහිත වූ රූප අරූප භවයනට ද ප්‍ර‍ත්‍යය වේ.

 

අනෙකෙක් මේ ආත්මය දැන් පවත්නා කාමාවචර භවයෙහි හෝ රූප-අරූප භවයන් අතුරින් එක්තරා එකෙකැ හෝ උච්ඡේදයට පැමිණියේ සියලු වට දුක් උච්ඡේදයට (විනාශයට) පැමිණීම වශයෙන් මනා කොට උච්ඡේද වේයැ’ යි උච්ඡේද දෘෂ්ටිය ගෙන එයට පමුණුවන කර්‍ම කෙරේ. ඔහු ගේ ඒ කර්‍මය කර්‍ම භව යැ. ඒ කර්‍මයෙන් උපන් ස්කන්ධ උපපත්ති භවය යි. සඤ්ඤාභවාදිය පෙර කී සේ එයට ම ඇතුළති.

 

මෙසේ දිට්ඨි - උපාදානය (ප්‍රභේද සහිත) සඤ්ඤා භවාදී අන්තර්‍ගත භවයන් සහිත කාම-රූප-අරූප යන ත්‍රිවිධ භවයට ම  ප්‍ර‍ත්‍යය වේ.

 

විශේෂ:- මේ උච්ඡේද දෘෂ්ටියෙහි ඇතුළත් දශ වස්තුක මිථ්‍යා දෘෂ්ටීන් අතුරින් කාම භවයෙහි ‘නත්‍ථිදින්නං’ ‘නත්‍ථි-යිට්ඨා’ යන උච්ඡෙද වාද දෙක ද, රූප භවයෙහි ‘නත්‍ථි හුතං’ යන තෘතීය උච්ඡෙද වාදය ද, අරූප භවයෙහි සෙසු සප්තවිධ උච්ඡෙද වාද ද යන මොවුන් ගේ වශයෙන් උච්ඡෙද දෘෂ්ටිය වේ.

 

අනෙකෙක් : මේ ආත්මය දැන් පවත්නා ‘මේ කාමාවචර සම්පත්ති භවයෙහි හෝ රූප-අරූප භවයන් අතුරින් එකෙකැ හෝ සුවපත් වේයැ, යි පහවූ දාහ ඇති වේය’යි ආත්මවාද වශයෙන් දැඩිවැ ගෙනැ ඒ භවයනට පමුණුවන කර්‍ම කෙරේ. ඔහුගේ ඒ කර්‍මය කර්‍ම භව යැ. එයින් නිපන් ස්කන්‍ධ උපපත්ති භවය යි, සඤ්ඤා භවාදිය ද එයට ම ඇතුළති.

 

මෙ සේ අත්තවාදූපාදානය සප්‍රභේද අන්තර්‍ගගත භව සහිත ත්‍රිවිධ භවයට ප්‍ර‍ත්‍යය වේ.

 

විස්තර:- මෙහි ‘කාමාවචර සම්පත්ති භවයෙහිය’ යි කියන ලද්දේ ප්‍ර‍ථම දෘෂ්ටධර්‍ම නිර්‍වණවාද වශයෙනි. සෙස්ස ඉතිරි දෘෂ්ටධර්‍ම නිර්‍වණවාද වශයෙන් කියන ලදී.

 

විශේෂ:- පෙළෙහි රූපාවචර ධ්‍යාන වශයෙන් මැ මතුයෙහි සතර දිට්ඨධම්ම නිබ්බාන වාදයෝ ආහ. එතෙකුදු වුවත් දෘෂ්ටි ගතිකයා යම් කිසිවක් ගෙන යම්කිසි ප්‍ර‍කාරයකින් අභිනිවෙශ (=දෘෂ්ටි වශයෙන් ගැනීම) කෙරේ යැ යි. අරූපභව ග්‍ර‍හණය කරන ලදී.

 

තවද අරූප ධ්‍යාන චතුර්ථ ධ්‍යානයෙහි සංග්‍ර‍හ වන බැවින් හෝ අරූප භවය ගන්නා ලදී. (මේ ටීකාගත විස්තර යි.)

 

අනෙකෙක් මේ ශීල-ව්‍ර‍ත කාමාවචර මේ භවයෙහි හෝ රූප-අරූපභවයන් අතුරින් එක්තරා භවයෙකැ හෝ පුරන්නහුට සැප සම්පූර්ණ වීමට යේයැ යි ව්‍රතොපාදාන වශයෙන් එයට පැමිණීමට සුදුසු වූ කර්‍ම කෙරේ. ඔහු ගේ ඒ කර්‍මය කර්‍ම භව යැ. ඒ කර්‍මයෙන් නිපන් ස්කන්‍ධ උප්පත්ති භවය යි. සඤ්ඤාභවාදිය එයට ම ඇතුළත් වේ. මෙ සේ සීලබ්බතූපාදානය ප්‍රභේද සහිත සාන්තොගධ වූ තුන් භවයට ප්‍ර‍ත්‍යය වේ.

 

මෙහි පිළිවෙළින් නො කියා සීලබ්බතූපාදානය අන්තයෙහි කීම අන්තවාදුපාදානය මෙන් බෙහෙවින් සමුදාචාර නැති හෙයින් හෝ එය අත්තවාදූපාදාන නිමිත්තෙන් වන හෙයින් හෝ යි.

 

ප්‍ර‍ශ්නයෙකි:- මේ උපාදාන අතුරින් කවර උපාදනයෙක්, කවර භවයට, කෙසේ ප්‍ර‍ත්‍යය වේ ද

 

පිළිතුර:- “රුවාරූ බවයට - උවදන්*[716] උවනිසා පස+

**කමුබවයට එ සහදැ++ - ඈ නන් බෙයින් පස වේ”

 

විස්තර:- මේ කාමාදි චතුර්විධ උපාදානය රූප-අරූප භවයන්ට ද, කාම භවයෙහි (ඇතුළත් කර්‍ම භවයෙහි) කුශල - අකුශල කර්‍මයට ද, උපපත්ති භවයට ද, උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන්  ප්‍ර‍ත්‍යය වේ. කාම භවයෙහි තමා හා සම්ප්‍ර‍යුක්ත අකුශල කර්‍ම භවයට සහජාත - අඤ්ඤමඤ්ඤා - නිස්සය - සම්පයුත්ත - අත්‍ථි - අවිගත - හෙතු ප්‍ර‍ත්‍යය ප්‍රභේදයෙන් සහජාතාදී වශයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

විශේෂ:- හේතු ප්‍ර‍ත්‍යය ප්‍රභෙදයෙන්යැ යි කීමෙන් මාර්‍ග ප්‍ර‍ත්‍යය ද සංග්‍ර‍හ වේයැ යි කියන ලදී.

 

ඒ මෙ සේ යි:- දිට්ඨි - උපාදානාදිය සහජාත වූ අකුශල කර්‍ම භවයට මාර්‍ග ප්‍ර‍ත්‍යය වන හෙයින් සහජාතාදි ප්‍ර‍ත්‍යය අතුරින් හේතු ප්‍ර‍ත්‍යය හැර මාර්‍ග ප්‍ර‍ත්‍යය ගෙන සත් පරිද්දෙකින් ප්‍ර‍ත්‍යය වේ.

 

සියලු උපාදානයෝ ම අනන්තර වූ කර්‍ම භවයට අනන්තර සමනන්තර - අනන්තරූපනිස්සය - නත්‍ථි - විගත - ආසෙවන ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වෙති. අනන්තරයට උපනිශ්‍ර‍ය වශයෙන් ද ප්‍ර‍ත්‍යය වේ. විප්‍ර‍යුක්තය හට උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

මේ ‘උපාදාන ප්‍ර‍ත්‍යයයෙන් භවය වේ’ යැයි කීමෙහි විස්තර යි.

 

10. ‘භව ප්‍ර‍ත්‍යයයෙන් ජාති වේ යනාදීන්හි ජාති ආදීන් ගේ විනිශ්චය සත්‍ය නිර්‍දෙශයෙහි කී නයින් දත යුතුයි. ආදි ශබ්දයෙන් ජරා-මරණාදි සියල්ල සංග්‍ර‍හ කරන ලදී.

 

විශේෂ:- මෙහි භව යන්නෙන් කර්‍ම භවය අභිප්‍රේත යැ. ජාතියට ප්‍ර‍ත්‍යය වන්නේ එය යැ. උපපත්ති භවය නො වේ. ඒ කර්‍ම භවය ද කර්‍ම ප්‍ර‍ත්‍යය, උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය යන දෙ ආකාරෙකින් ප්‍ර‍ත්‍යය වේ.

 

ප්‍ර‍ශ්නයෙකි:- භවය ජාතියට ප්‍ර‍ත්‍යය වේයැ යි කෙසේ දත හැකි ද,

 

පිළිතුර:- බාහ්‍ය ප්‍ර‍ත්‍යයන් ගේ සමත්‍වය ඇති කල්හි ද හීන -ප්‍ර‍ණීතතාදී භේදය දක්නා ලැබෙන හෙයිනි.

 

විස්තර:- පීතෘ - මාතෘන් ගේ ශුක්‍ර‍ - ශ්‍රොණිතාදී වාහ්‍ය ප්‍ර‍ත්‍යයන් ගේ සමත්‍වය ඇති කල්හි ද යමක (නිඹුල්) දරුවන් ගේ ද හීන - ප්‍ර‍ණිතතාදි විශේෂ පැනේ. හෙද හැම කල්හි ම හැම සත්ත්‍වයන් ගේම එක සේ නො වන හෙයිනි. හෙද අහෙතුක නො වේ. තවද ඒ හීන - ප්‍ර‍ණීතතා විශේෂය උපදවන්නා වූ සත්ත්‍වයන් ගේ අධ්‍යාත්ම සන්තානයෙහි අනෙක් කාරණයක් නැති හෙයින් කර්‍ම භවය ම හේතු කොට ඇත්තේ ය.

 

එයින් වදාළහ : “කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණිත්තාය[717] ‘කර්‍මය සත්ත්‍වයන් හීන ප්‍ර‍ණිතතාදි භාවයෙන් බෙදා යැ’යි කියායි. එහෙයින් භවය (කර්‍මය) ජාතියට ප්‍ර‍ත්‍යය වේය යි දත යුතු යි.

 

තවද ජාතිය නැති කල්හි ජරා - මරණ හෝ ශෝකාදි ධර්‍ම හෝ නො වන හෙයින් ද, ජාතිය ඇති කල්හි ම ජරා-මරණ දුකින් පහර ලද බාල ජනයාහට ජරා-මරණ හා සම්බන්ධ වූ හෝ ඤාති ව්‍යසනාදි ඒ ඒ දුඃඛ ධර්‍මයෙන් පහර ලද්දාහුට ජරා-මරණ ප්‍ර‍තිබද්ධ නො වූ හෝ ශෝකාදිය වන බැවින් ද ජාතිය ශෝකාදියට ද ප්‍ර‍ත්‍යය වේ ය යි දත යුතු.

 

මේ ජාතිය උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන් (ලෙශයෙන්) එකම ප්‍ර‍කාරයකින් ම ප්‍ර‍ත්‍යය වේ.

 

විශෙෂ:- මේ උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය, ප්‍ර‍ත්‍යයන් ගේ මහා ප්‍රදේශය යි.

 

මේ ‘භව ප්‍ර‍ත්‍යයයෙන් ජාති වේ’ යන්නෙහි විස්තර කථාවයි.

 

මේ පටිච්චසමුප්පාද දේශනායෙහි ශෝකාදිය අවසානයෙහි වදාළ හෙයින් “අවිජ්ජා පච්චයා සඞ්ඛාරායි මෙ සේ භව චක්‍රයේ ආදියෙිහ වදාළ අවිද්‍යාව ශොකාදීන් හට සිද්ධ වූවා වෙයි.

 

ජාතිය ශෝකාදියට පමණක් ප්‍ර‍ත්‍යය නො වේ. එ සේ ශෝකාදියට ප්‍ර‍ත්‍යය වීමෙන් ඒ ශෝකාදිය හා බැඳී සිටින අවිද්‍යාවට ද ජාතිය ප්‍ර‍ත්‍යය වේ.

 

එහෙයින් ම:-

 

“සෝ ඈ හෙයින‘විදු - වෙතැයි සිදුමුල නොම දත්,

[718]*කරු-විඳු නැතිමෙ බවසක - දොළොස් පරිදි සුන් බැවින්

අගමග දක්වා නිතින් - සබඳ නො සිඳ පවත්නේ”

 

ප්‍ර‍ශ්න:- මේ පටිච්චසමුප්පාද දේශනායෙහි ශොකාදියෙන් අවිද්‍යාව කෙසේ සිද්ධ වූවා ද,

 

පිළිතුර:- මෙහි සෝක - දෝමනස්ස - උපායසයෝ අවිද්‍යාව නැතිව නො පවතිත්. (අවිද්‍යාව සමගම පවතිත්) පරිදෙවය (වැළපීම) ද මුළා නො වූවහුට නො වේ. එහෙයින් පළමු ශෝකාදිය ඇති කල්හි කාමාශ්‍ර‍ව සමුදයයෙන් අවිද්‍යාව වේය යනු සිද්ධ යැ.

 

තව ද ක්‍ර‍මයෙනි:- “ආසව සමුදයා අවිජ්ජා සමුදයො[719] ආශ්‍ර‍ව සමුදයයෙන් අවිද්‍යා සමුදය වේ ය යි වදාළහ.

 

ඒ මෙ සේයි : වස්තුකාමයා ගේ වියෝගය ඇති කල්හි ශෝකය කාමාශ්‍ර‍ව සමුදයයෙන් වේ.

 

එයින් වදාළහ.

 

“තස්ස චෙ කාමයානස්ස - ඡන්‍දජාතස්ස ජනතුනො

තෙ කාමා පරිහායන්ති - සල්ල විද්‍ධොව රූප්පති”[720]

 

“වත්කම් පනත ඒ - සඳ ඇති සත් තමා ලද

ඒ වත්කම් පිරිහෙන කල - හුලකින් විදි ලෙස පෙළේ”

 

වස්තු කාමයෙහි ඇළුණු සිත් ඇති එ හෙයින්ම ක්ලේශ - කාම වශයෙන් උපන් ඡන්ධ ඇති ඒ සත්ත්වයා ගේ වස්තු කාම පිරිහෙන්නේ වී නම් හුලකින් විදියකු සේ ශොකාදියෙන් පෙළේ.

 

තවද “කාමතො ජායති සොකො” කාම හේතුවෙන් ශෝකය උපදනේ ය යි වදාළහ.

 

මේ සියලු ශෝකාදිය ඒ දිට්ඨි ආශ්‍ර‍ව සමුදයයෙනුදු වේ. එහෙයින් වදාළහ.

 

“තස්ස අහං රූපං මම රූපන්ති පරියුට්ඨට්ඨායිනො රූප විපරිණාමඤ්ඤථභාවා උප්පජ්ජන්ති සොකපරිදේව දුක්ඛ දොමනස්සුපායාසාති”[721] ‘මම රූපය වෙමි. මා ගේ රූපය යි දෘෂ්ටියෙන් නැගී සිටින්නා වූ ඒ පුද්ගලයා හට රූපයා ගේ ප්‍ර‍කෘතිය හැරිම ය. අන් අයුරකින් වීම ය යනාදීන් සෝකපරිදේව - දුක්ඛ දොමනස්ස උපායාසයෝ උපදිත්.’

 

මෙ සේ දිට්ඨි - ආසව හේතුවෙන් උපදනා සේ භවාසව හේතු වෙන් ද සොකාදිය උපදී.

 

එයින් වදාළහ :- යෙපි තෙ දෙවා දීඝායුතා වණ්ණවන්තො සුඛ බහුලා උච්චෙසු විමානෙසු විරං දීඝමද්‍ධානං තිට්ඨාන්ති, තෙලි තථාගතස්ස ධම්මදෙසනං සුත්‍වා භයං සන්තාසං සංවෙගාමපජ්ජන්ති[722] ‘දීර්‍ඝායුෂ්ක වර්‍ණවත් සුව පහුල දෙවියෝ උස්වූ දිව්‍ය විමානයන්හි බොහෝ කලක් සිටියාහු ද, ඔවුහු ද තථාගතයන් වහන්සේ ගේ ධර්‍ම දේශනාව අසා බියට තැති ගැනීමට සංවේගයට පැමිණෙති. පස් පෙර නිමිති දැක මරණ බියෙන් තැතිගත් දෙවියනට මෙනි.

 

භවාශ්‍ර‍ව හේතුවෙන් මෙන් අවිද්‍යාශ්‍ර‍ව හේතු කොට ද මේ ශොකාදිය උපදී.

 

එහෙයින් වදාළහ:- “සෙ ඛො සො භික්ඛවේ බාලො දිට්ඨෙව ධම්මෙ තිවිධං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙතීති”[723] ‘මහණෙනි! ඒ අඥාන තෙමේ අවිද්‍යාව හෙතුකොට ගෙන එයට අනුකූල කථා ඇසීම, කම්කටොලු දැකීම, මරණ කාලයෙහි එළඹ සිටි පාපකර්‍මය සිහි කිරීම නිදාන කොට ඇති ශොකිදි වූ දුක් විඳි’ යයි කියායි.

 

මෙ සේ ආශ්‍ර‍ව සමුදායයෙන් උපාදාන මේ ශොකාදිය අවිද්‍යාවට හේතු වූ ආශ්‍ර‍වයන් සිද්ධ කෙරේ. ආශ්‍ර‍ව සිද්ධ කල්හි ප්‍ර‍ත්‍යය භාවයෙන් වන හෙයින් අවිද්‍යාව සිද්ධ වේය යි දත යුතු. ප්‍ර‍ත්‍යය ඇති කල්හි වන හෙයින් අවිද්‍යාව සිද්ධ කල්හි නැවැතැ ‘අවිද්‍යා ප්‍ර‍ත්‍යයයෙන් සංස්කාර වේ. සංස්කාර ප්‍ර‍ත්‍යයයෙන් විඥාන වේ’ යයි මෙ සේ හේතු-ඵල පරම්පරාව ගේ අවසානයෙක් නැත්තේ ය. එහෙයින් හේතු-ඵල  පරම්පරා සම්බන්‍ධයෙන් පවත්නා වූ දොළොස් අංගයක් ඇති භව චක්‍ර‍ය නොදත් ආදි ඇත්තේ යැ යනු සිද්ධ යි.

 

ප්‍ර‍ශ්නයෙකි:- එසේ වන්නා “අවිද්‍යා ප්‍ර‍ත්‍යයයෙන් සංස්කාර වේ” ය යි මේ මූල මාත්‍ර‍ කථනය විරුද්ධ නො වේ ද

 

පිළිතුර:- මේ ආදි භවය කීමෙන් නො වේ. ප්‍ර‍ධාන ධර්‍මය කීමෙකි.

 

විස්තර:- කර්‍ම-ක්ලේශ-විපාක යන ත්‍රිවිධ වෘත්තයට ම අවිද්‍යාව ප්‍ර‍ධාන යැ. සර්‍පයකු ගේ හිස ගැනීමෙන් අන්‍ය වූ ද සර්‍ප ශරීරය ගැනීම් මෙනි. සෙසු කෙලෙස් වට හා කර්‍ම වට ද බාලයා හාත්පසින් පෙළයි. අවිද්‍යාව සිඳපී කල සෙසු කම්ම-කිලෙස -විපාකවට්ටයෝ ද සිඳෙත්. සර්‍ප ශීර්‍ෂච්ඡෙදනයෙන් වෙළා සිටි බාහුවේ මිදීම වන්නාක් මෙනි.

 

එයින් වදාළහ:- “අවිජ්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සංඛාරනිරොධො[724] ‘අවිද්‍යාව නිරවශේෂ කොට නිරුද්ධ කිරීමෙන් සංස්කාරයන් ගේ නිරොධය වේ. යනාදිය මෙ සේ අවිද්‍යාව තමා සතන්හි ඉපදවීම් වශයෙන් ගත්තාහට සංසාර බන්‍ධනය ද එය නිරවශේෂයෙන් මුදන්නාහට සංසාර විමොක්‍ෂය ද වන හෙයින් ඒ ත්‍රිවිධ වෘත්තයට ප්‍ර‍ධාන ධර්‍මය කීමය මේ. එය මූල ධර්‍මය කීම නො වේ. මෙ සේ මේ භව චක්‍ර‍ය නො දන්නා ලද ආදි ඇත්තේය යි දතයුතු.

 

ප්‍ර‍ශ්න:- මේ භව චක්‍ර‍ය කරන්නෙක් හෝ විඳින්නෙක් හෝ නැත්තේ ද.

 

පිළිතුර:- අවිද්‍යාද කාරණයෙන් සංස්කාරාදීන් ගේ පැවැත්ම වන හෙයින් ඒ අවිද්‍යාදියෙන් අන්‍ය වූ බ්‍ර‍හ්ම - මහා බ්‍ර‍හ්ම - ශ්‍රෙෂ්ඨ - සඤ්ජිත - ප්‍ර‍ජාපති ආදී ලෝක නිර්‍මාතෘයැ යි තර්‍කයෙන් කල්පනා කොට ගන්නා ලද සංසාරය කරන්නෙක් හෝ හිතාහිත දෑ කියන්නා වූ සුව දුක් විඳින මේ මාගේ ආත්මයැ යි සලකන ලද ආත්මයෙන් හෝ නො වෙයි. මෙසේ කාරකවෙදක රහිතය යි දතයුතු.

 

මෙහි අවිද්‍යාව ඉපිද නස්නා සුලු බැවින් නිත්‍ය භාවයෙන් ද, කෙලෙසන බැවින් හා කෙලෙසෙන ධර්‍මයනට ආලම්බන හෙයින් ශුභ භාවයෙන්, උදය-වය දෙක්හි පෙළෙන හෙයින් සුඛ භාවයෙන් ද, ප්‍ර‍ත්‍යය ප්‍ර‍තිබද්ධ පැවැතුම් ඇති හෙයින් ආත්ම භාවයෙන් ද ශූන්‍ය යැ. සංස්කාරාදි අඞ්ග ද එසේ ම ශුන්‍ය යි.

 

තවද අවිද්‍යාව ආත්මය නො වේ. ආත්මය පිළිබැඳි ද නො වේ. ආත්මයෙහි නො වේ. ආත්මය ඇත්තක් නො වේ. සංස්කාරාදි අඞ්ග ද එසේ මැ යි. එහෙයින් මේ භව චක්‍ර‍ය අවිද්‍යාදි ද්වාදශාඞ්ගයන් ගේ ශුන්‍යත්වයෙන් ද්වාදශවිධ ශූන්‍යතායෙන් ශුන්‍යය යි මෙ සේ දතයුතු.

 

(ධූවාදි චතුර්විධ ශුන්‍යතාව ද, ආත්ම ශුන්‍යතාදි චතුර්විධ ශුන්‍යතාව ද, එකකින් එකක් කොට ගෙන ද්වාදශාඞ්ග ගත ශුන්‍යතාවෝ ද්‍වාදශවිධ වෙත්නු යි “ද්‍වාදසවිධ සුඤ්ඤතා සුඤ්ඤං” යැ යි යොදනු යනු සන්‍ය යි.)

 

තවද:-

 

“අවිදු-තණ දෙමුල යැ - ඉකුත් ඈ තුන් කල් වේ.

දෙක - අට - දෙකැයි බව සක - දොළොසඟ කෙමෙන් දන්නේ”

 

ඒ භව චක්‍රයේ අවිද්‍යාය - තෘෂ්ණායැ යි ධර්‍ම දෙකක් මූල යැයි දතයුතු.

 

විස්තර:- (පූර්‍වාන්තයෙන්) අතීත ස්කන්‍ධ කොඨාසයෙන් ප්‍ර‍ත්‍යුත්පන්න විපාකය එළවන හෙයින් අවිද්‍යාව මූලය වේ. වේදනාව අවසානය යැ. (අපරාන්තය) අනාගත ස්කන්ධ කොට්ඨාසය හා ගළපන හෙයින් තෘෂ්ණාව මූලය වේ. ජරා මරණ අවසාන ය වේ යැ යි මෙ සේ මූල වශයෙන් භව චක්‍ර‍ය ද්‍විවිධ වේ.

 

විශේෂ:- මෙහි අවිද්‍යා මූල භව චක්‍ර‍ය දිට්ඨි චරිතයා ගේ වශයෙන් වදාරන ලදී. පසුවැ කී තෘෂ්ණා මූල භව චක්‍ර‍ය තෘෂ්ණා චරිතයා ගේ වශයෙන් වදාරන ලදී.

 

ඒ මෙසේ යි:- දෘෂ්ටි චරිතයන්ට අවිද්‍යාව ද, තෘෂ්ණා චරිතයන්ට තෘෂ්ණාව ද සසර පැවැත්ම කරයි.

 

තවද උච්ඡෙද දෘෂ්ටිය නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කිරීම පිණිස අවිද්‍යාමූලක පළමුවන භව චක්‍ර‍ය වදාළහ. ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් දතයුතු විඥානාදී ප්‍ර‍ත්‍යුත්පන්න ඵල ධර්‍මයන් ගේ හැටගැන්මෙන් (අප්‍ර‍ත්‍යක්‍ෂ වූ) අවිද්‍යාදි හේතුන් ගේ නො සිඳ පැවැත්ම ප්‍ර‍කාශ කරන හෙයිනි.

 

උපන්නා වූ විඥානාදීන් ගේ ජරා-මරණ ප්‍ර‍කාශ කරන හෙයින් ශාස්වත දෘෂ්ටිය නිරවශේෂයෙන් ප්‍ර‍හීණ කිරීම සඳහා තෘෂ්ණා මූලක දෙවන භව චක්‍ර‍ය වදාරන ලදි.

 

තවද ක්‍ර‍මයෙකි:- ගබ්භසෙය්‍යක සත්ත්වයන් ගේ වශයෙන් පළමුවන අවිද්‍යාමූලක භව චක්‍ර‍ය වදාරන ලදී. “සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම රූපං” යනාදීන් ධර්‍මයන් ගේ පිළිවෙළ නො ඉක්ම පැවැත්ම දක්වන හෙයිනි.

 

උපාදාන පච්චයා භවො, භව පච්චයා ජාති” යනාදීන් උපපත්ති ස්කන්‍ධයන් එකවට පහළවීම දක්වන හෙයින් ඕපපාතික සත්ත්වයන් ගේ වශයෙන් පසුවැ කී තෘෂ්ණා මූලකය වදාරණ ලදී.

 

ඒ භව චක්‍ර‍යා ගේ අතීත - වර්‍තමාන - අනාගතය යි කාල තුනෙක් වේ. ඒ කාල අතුරින් පෙළෙහි ස්වරූපයෙන් ආ පරිද්දෙන් අවිද්‍යාය, සංස්කාරය යන අඞ්ග දෙක අතීත කාලික යැ. විඥානය මුල් කොට භවය අවසාන කොට ඇති අඞ්ග අට වර්‍තමාන කාලික යැ. ජාතිය, ජරා මරණ යන අඞ්ග දෙක අනාගත කාලික යැ යි දතයුතු.

 

“*හේ-පල, හේ පෙරටු - තෙ සඳ**[725] සිවු බේ සඟහැති

***විසියුරැ අරැති බව සක - තිවට බෙමේ නො නැවැතී”

 

තවද:- සඞ්ඛාර‘(පටිසන්‍ධි) විඤ්ඤාණ අතරැ එක් හේතු-ඵල සන්‍ධියෙකි. වෙදනා‘තෘෂ්ණා අතරැ එක් ඵල-හේතු සන්‍ධියෙකි. භව‘ජාති අතරැ එක් හේතු-ඵල සන්‍ධියෙකැ යි මෙ සේ මේ භව චක්‍ර‍ය හේතු පූර්‍වක, ඵල පූර්‍වක, හේතු පූර්‍වක, වශයෙන් ත්‍රිසන්‍ධියෙක් ඇතැයි දත යුතු.

 

තව ද සන්‍ධීන් ගේ මුල-අග පිරිසිඳීමෙන් සංග්‍ර‍හ සතරෙක් වේ.

 

ඒ මෙසේ යි:-

 

අවිජ්ජා-සඞ්ඛාර එක් සංක්‍ෂේපයෙක.

 

විඤ්ඤාණ - නාම -රූප - සළායතනට - ඵස්ස - වෙදනා දෙවෙනි සංක්‍ෂෙපය යැ.

 

තෘෂ්ණා - උපාදාන - භව තෙවෙනි සංක්‍ෂේපය යැ.

 

ජාති-ජරා-මරණ සතර වන සංක්‍ෂෙපය යි මෙ සේ මේ භව චක්‍ර‍ය සංක්‍ෂේප සතරක් ඇත්තේ ය යි දත යුත්තේ යි.

 

“අයු කල හේ පසෙති - දැන් කල පල පසෙක් වේ‍,

දැන් කල්හි ද හේ පසෙකි - මතු කල පල පසෙක් වේ”

 

මේ විසි ආකාර අර හේතු කොට විසි වැදෑරුම් අර ඇත්තේ ය යි දත යුතු.

 

විස්තර:- ඒ ගීයෙහි අතීතයෙහි හේතු පස යැ යි කීයේ පෙළෙහි කී අවිද්‍යා-සංස්කාර, යන මේ හේතු ධර්‍ම දෙක ද, (ඒ අවිද්‍යායෙන් යුක්ත වූ අඥාන තෙමේ තෘෂ්ණා වශයෙන් ආලම්බනයෙහි පිපාසිත වේ. තෘෂ්ණාවෙන් පෙළුණේ දැඩි වූ තෘෂ්ණා දෘෂ්ටීන් ගැනීම කෙරේ. ඕහට උපාදාන ප්‍ර‍ත්‍යයයෙන් භවය වේ. එහෙයින්) තෘෂ්ණා-උපාදාන-භව යන තුන ද ගැනීමෙනි.

 

එයින් වදාළහ. “පුරිම කම්මභවවස්මිං මොහො අවිජ්ජා, ආයූහනා සංඛාරා, නිකන්ති තණ්හා, උපගමනං උපාදානං, චෙතනා, භවොති ඉමෙ පඤ්චධම්මා පුරිමකම්මභවස්මිං ඉධ පටිසන්‍ධියා පච්චයා[726] ‘පෙරැ ජාතියෙහ කළ කර්‍ම භවයෙහි (ඉකුත් ජාතියෙහි  කර්‍ම කරන කල්හි) දුඃඛාදි චතුරාර්‍ය්‍ය සත්‍යය නො දැනීමෙන් මුළාවූයේ කර්‍ම කෙරේ නම් එය අවිද්‍යාව යැ. දානාදී ක්‍රියාවන් සකස් කොට කරන්නා වූ චේතනාව සංස්කාර යැ.

 

ආලම්බන හෙයින් ඇලීම තෘෂ්ණාව යැ. අරමුණ දැඩි කොට ගැනීම උපාදාන යැ. පරිත්‍යාගාදී වශයෙන් පවත්නා චේතනාව භව යැ යන මේ පඤ්ච ධර්‍මයෝ පූර්‍ව භවය ඇති කල්හි මෙහි ප්‍ර‍තිසන්‍ධියට ප්‍ර‍ත්‍යයවෙති.

 

එහි පූර්‍ව කර්‍ම භවයෙහි යනු පූර්‍ව ආත්ම භාවයෙහි වූ පූර්‍ව කර්‍ම භවයෙහි නොහොත් පූර්‍ව ආත්ම භවයෙහි වූ කර්‍ම භවය ඇති කල්හි (ඉකුත් ජාතියෙහි කර්‍ම කරන කල්හි) යැ යනු යි.

 

මෝහය අවිද්‍යාව යැ. = දුඃඛාදි චතුරාර්‍ය්‍ය සත්‍යය, නො දැනීම වශයෙන් ආලම්බන ප්‍ර‍තිච්ඡාදන කරන මුලාවෙන් යුක්ත වැ යම් කර්‍මයක් කෙරේ නම් ඒ මුළාව අවිද්‍යාව යි.

 

ආයූහන චෙතනා සංස්කාර යැ = ඒ කුශල - අකුශල කර්‍ම කරන්නහු ගේ යම් පූර්‍ව - පූර්‍ව චේතනාවෙක් වේ නම් එය ආයුහන සංස්කාර නමි.

 

ඒ මෙ සේ යි: ‘දනක් දෙමි යි සිතක් උපදවා මසක් මුළුල්ලෙහි හෝ අවුරුද්දක් මුළුල්ලෙහි දානොපකරණ පිළියෙල කරන්නා හට උපන් පූර්‍ව චේතනා යි.

 

එසේ ප්‍ර‍තිග්‍රාහකයන් අතෙහි දාන වස්තුව පිහිටුවන්නහුට උපදනා චෙතනාව ම කර්‍ම භව නමැ යි කියනු ලැබේ.

 

තවද එක ආවර්‍ජන සිතක් ඇති චිත්ත වීථියක ප්‍ර‍ථම ජවන් සයෙහි චේතනාවෝ අයූහන සංස්කාරයහ. සත්වැනි ජවනයෙහි වූ චෙතනා බව නම් වේ.

 

එසේ පැවති යම් කිසි චෙතනාවක් හෝ භව නමි. තත් සම්ප්‍ර‍යුක්ත ස්පර්‍ශාදී චෛතසික හෝ අභිධ්‍යාදිය හෝ ආයූහන සංස්කාර නමි. (මේ පටිසම්භිදා පාළියෙහි ආ සේ යැ.)

 

ඇලීම තෘෂ්ණා යැ. = කර්‍මයක් කරන්නකුට ඒ කර්‍මයා ගේ ඵලය වූ උත්පත්ති භවයෙහි යම් ආසාවක්-ප්‍රාර්ථනාවක් වේ නම් එය තෘෂ්ණාව යි. (චාතුර්‍මහාරාජිකාදි දෙවියෝ ‘දීර්‍ඝායුෂ්කහ’ ‘සුඛ බහුලය හ’ යනාදිය ඇසීමෙන් උපදනා තෘෂ්ණාව උත්පත්ති භව ප්‍රාර්ථනාව යි.)

 

දැඩිව ගැනීම උපාදාන යැ. = කර්‍ම භවයට ප්‍ර‍ත්‍ය වූ (මෙ නම් කර්‍මයක් කොට අසුවල් නම් තැන කාම සේවනය කරමි. උච්ඡේදයට පැමිණෙන්නෙමි. මේ ආදි නයින් පැවති) අරමුණ දැඩි කොට පරාමර්‍ශනය කිරීමෙක්, අරමුණ දැඩි කොට ගැනීමෙන්, දෘෂ්ටි වශයෙන් දැඩි කොට ගැනීමෙක් වේ නම් ඒ උපාදානය යි.

 

චේතනා භවයැ = පෙර සඞ්ඛාර ලක්‍ෂණයෙහි ත්‍රිවිධ අර්ථ විකල්පයෙහිම කියන ලද ආයුහනයා ගේ අවසානයෙහි වදාළ චේතනාව භව නම් වේ යැයි මෙ සේ අර්ථ දත යුතු යි.

 

ඉදානි ඵල පඤ්චකං = දැන් ඵල පසෙකැ. විඤ්ඤාණයෙහි පටන් වේදනාව අවසන් කොට පෙළෙහි ම ආ ඵල පස යි.

 

ඒ මෙසේ යි:- “ඉධ පටිසන්ධි විඤ්ඤාණං, ඔක්කන්ති නාම-රූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වෙදනා ඉති ඉමෙ පඤ්ච ධම්මා ඉධූප්පත්ති භවස්මිං පුරෙ කතස්ස කම්මස්ස පච්චයා”[727] ‘මේ භවයෙහි ප්‍ර‍තිසන්‍ධි ය විඥාන යැ. මවු කුසට වදනාවක් මෙන් වීම නාම-රූපයැ, ප්‍ර‍සාදය ආයතන යැ, ස්පර්‍ශය ඵස්ස යැ, අරමුණු රස විඳීම වේදනා යැ. මෙ සේ මේ පඤ්චධර්‍මය මේ ප්‍ර‍ත්‍යුත්පන්න භවයෙහි (පෙර භවයෙහි කළ කර්‍මයා ගේ) ප්‍ර‍ත්‍යයයෙන් වේ.

 

එහි - ප්‍ර‍තිසන්‍ධි විඥානය = ඉක්ම ගිය අනතුරු භවය හා වර්‍තමාන භවය ගැළපීම් වශයෙන් උපන් බැවින් යම් සිතක් පටිසන්‍ධිය යි කියා නම් ඒ සිත යැ මෙහි විඤ්ඤාණ නම්.

 

මව් කුසට වදනාක් මෙන් වීම = මවුකුස පිළිසිඳ ගන්නා විගස රූප‘රූප ධර්‍මයන් අවුත් පිවිසෙන්නාක් මෙන් වීම නාම-රූප නමි.

 

ප්‍ර‍සාදය ආයතන යැ = යනු චක්‍ෂුරාදි පඤ්චායතන වශයෙන් කියන ලදී.

 

ස්පර්‍ශය ඵස්ස යැ = අරමුණ හැපෙමින් උපදනා ස්වභාවය ස්පර්‍ශ නමි.

 

අරමුණු රස විඳීම වේදනා යැ = ප්‍ර‍තිසන්‍ධි විඥානය සමග හෝ ෂඩායතන ප්‍ර‍ත්‍යය කොට ඇති ස්පර්‍ශය සමග හෝ උපන්නා වූ විපාක වෙදනාව (වේදයිතය) මෙහි වෙදනා ය යන අර්ථයි.

 

ඉදානි හෙතෙවො පඤ්ච = දැන් හේතු පස නම් තෘෂ්ණාදි පස යැ.

 

තණ්හා-උපාදාන-භව යැ යි පෙළහි ස්වරූපයෙන් ම ආහ. එහෙත් (කර්‍ම) භවය ගත් කළ එහි පූර්‍ව භාගය වූ සංස්කාර (චෙතනා) හෝ තත් සම්ප්‍ර‍යුක්ත ස්පර්‍ශාදී සංස්කාර හෝ ගන්නා ලැබේ.

 

තණ්හා-උපාදාන ග්‍ර‍හණයෙන් ඒ තෘෂ්ණා-උපාදාන හා සම්ප්‍ර‍යුක්ත වූ (යම් අවිද්‍යාවකින් මුළා වූවෙක් කුශල අකුශල කර්‍ම කෙරේ නම් ඒ) අවිද්‍යාව ගන්නා මැ යි. මෙ සේ වර්‍තමාන හේතු පස වේ.

 

එයින් වදාළහ : “ඉධ පරිපක්කත්තා අයතනානං මොහො අවිජ්ජා, අයූහනා සංඛාරා නිකන්ති තණ්හා, උපගමනං උපාදානං, චෙතනා භාවො, ඉති ඉමෙ පඤ්චධම්මා ඉධ කම්මභවස්මිං ආයතිං පටිසන්‍ධියා පච්චයා[728] මේ භවයෙහි ආයතන මුහුකුරා ගිය හෙයින් මුළාවීම අවිද්‍යාව යැ. පූර්‍වභාග චෙතනා සංස්කාර යැ. කැමති වීම තෘෂ්ණා යැ. අරමුණු දැඩි කොට ගැනීම උපාදාන යැ. පරිත්‍යාගාදි චෙතනාව භව යැ. මෙසේ මේ පඤ්ච ධර්‍මයෝ මේ කර්‍ම භවයෙහි මතු ප්‍ර‍තිසන්‍ධියට ප්‍ර‍ත්‍යය වෙති.

 

ඒ පාඨයෙහි - “මේ භවයෙහි ආයතන මුහුකුරා ගිය හෙයින් (බාලයා ගේ චිත්ත ප්‍ර‍වෘත්තිය භවාඞ්ග බහුල වැ පවත්නා හෙයින් භවාන්තර ජනක කර්‍මයුහනයට සමර්‍ථ නො වන හෙයින්) මුහුකුරා ගිය චක්ඛාදී ආයතන ඇත්තහු ගේ කුශලා‘කුශල කර්‍ම කරන කාලයෙහි පැවැති මුළාව (අවිද්‍යාව) දක්වන ලදී. සෙස්ස ප්‍ර‍සිද්‍ධ අර්ථ ඇති සේ යි.

 

අයතිං ඵල පඤ්චකං’ මතු භවයෙහි ඵල පසෙකි = විඤ්ඤාණාදි පස යි. ඒවා ජාති ශබ්ද ග්‍ර‍හණයෙන් ම ගන්නා ලදී. වැලි ජරා-මරණය නම් ඒ විඤ්ඤාණාදීන් ගේ ජරාව හා මරණය යි.

 

එයින් වදාළහ:- “අයතිං පටිසන්ධි විඤ්ඤාණං, ඔක්කන්ති නාම-රූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වෙදනාති ඉමෙ පඤ්චධම්මා ආයතිං උප්පත්ති භවස්මිං ඉධ කතස්ස කම්මස්ස පච්චයා[729]

 

‘මතු භවයෙහි ප්‍ර‍තිසන්ධිය විඤ්ඤාණ යැ, මවු-කුසල බැස ගැන්ම නාම-රූප යැ, ප්‍ර‍සාදය ආයතන යැ, ස්පර්‍ශය ඵස්ස යැ, අරමුණු රස විඳීම වෙදනා යැ යන මේ පඤ්ච ධර්‍මයෝ අනාගත උත්පත්ති භවයෙහි මේ අත් බැව්හි කරන ලද කර්‍මයා ගේ ප්‍ර‍ත්‍යයෙන් වෙති. මෙ සේ මේ භව චක්‍ර‍ය විංශති (20) ආකාර ඇත්තේ වේ. මෙහි පූර්‍ව භවයෙහි පඤ්ච කර්‍ම සම්භාරය හ. වර්‍තමාන භවයෙහි පඤ්ච විපාක ධර්‍මය හ. වර්‍තමාන කාලයෙහි පඤ්ච කර්‍ම සම්භාරය හ. අනාගත කාලයෙහි පඤ්ච විපාක ධර්‍මය හ යි ධර්‍මයෝ දශ දෙනෙක් කර්‍මය හ. දශ දෙනෙක් විපාකය හ යි මෙ සේ ස්ථාන ද්වයයෙක් හි කර්‍මය කර්‍ම වෘත්ත ය. ස්ථාන ද්‍වය යෙක්හි විපාකය වෘත්ත ය. කර්‍ම සංක්‍ෂේපය, විසාක සංක්‍ෂෙපය, කර්‍ම භවය, විපාක භවය ය. කර්‍ම ප්‍ර‍වර්‍තය, විපාක ප්‍ර‍වර්‍තය කර්‍ම සන්තතිය, විපාක සන්තතිය. ක්‍රියා ය, ක්‍රියා ඵලය යි කියා ය.

 

විස්තර:- කර්‍මය ම විපාක සම්භරණය (=වැඩීම) කරවන හෙයින් කර්‍ම සම්භාර නමි.

 

සඞ්ඛාර - භව (සඞ්ඛ්‍යාත) කර්‍ම යැ. එයට උපකාරක අවිජ්ජා-තණ්හා-උපාදාන කර්‍ම සම්භාරය යැ.

 

ප්‍ර‍තිසන්‍ධි දායක භවය කර්‍ම නමි. එයට උපකාරක ආයූහන සඞ්ඛාර වූ අවිද්‍යාදිය කර්‍ම සම්භාරය යි මෙ සේ කර්‍මය ද, කර්‍ම-සම්භාරයා ද කර්‍ම සම්භාරය යි එක ශේෂ වශයෙන් හෝ කර්‍ම සම්භාර ග්‍ර‍හණය දත යුතු යි.

 

අවිද්‍යාදිය කර්‍මයනට සහාය බැවින්ද කර්‍ම සදෘශනු යි හෝ කර්‍මයට උපකාරනු යි කර්‍මය යි කියනු ලැබේ.

 

අවිද්‍යාදිය හා විඥානාදිය ද කර්‍මය. විපාකය, කර්‍ම විපාක යැ යි මෙ සේ සංක්‍ෂේප කරනු ලැබේනුයි හෝ සංක්‍ෂේප නමි. සංක්‍ෂේප භාව සාමාන්‍යයෙන් හෝ එක වචන වී ය යි දතයුතු.

 

තවද සංක්‍ෂේප ශබ්දය භාගාධිවන හෙයින් කර්‍ම භාගය හෝ කර්‍ම සංක්‍ෂේප නමි. (මේ ටීකාගත විස්තර ය)

 

‘වට්ට තුනක් ඇති භව චක්‍ර‍ය නො නැවතී භ්‍ර‍මණය වේ’ යන මෙහි සංස්කාර භව දෙදෙන කම්මවට්ට යැ. ‘අවිද්‍යා-තෘෂ්ණා-උපාදාන කිලෙසවට්ට යැ. විඤ්ඤාණ-නාම-රූප-සළායතන-ඵස්සවෙදනා විපාක වට්ටය යි. මේ තුන් වටක් ඇති මේ භව චක්‍ර‍ය යම්තාක් කෙලෙස්වට නො සිඳේ නම් ඒ තාක් නො සිඳෙන ප්‍ර‍ත්‍යය ඇති හෙයින් නො නැවතී නැවැතැ නැවැතැ පරිවර්‍තනය (භ්‍ර‍මණය) වේ ය යි දතයුතු.

 

මෙ සේ බමන්නා වූ ඒ භව චක්‍ර‍ය තෙමේ :

1.  සත්‍යප්‍රභව හෙයින් ද,

2.  කෘත්‍ය හෙයින් ද,

3.  වාරණ හෙයින් ද,

4.  උපමා හෙයින් ද,

5.  ගම්භිර හෙයින් ද,

6.  නය හෙයින් ද,

සුදුසු සේ දතයුතු වේ.

 

1. අවිජ්ජා පච්චයා සඞ්ඛාරා - යන්නෙහි අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් වන සංස්කාර ද්‍විතීය (සමුදය) සත්‍යය ප්‍ර‍භව කොට ඇති ද්‍විතීය සත්‍ය යැ. (ආශ්‍ර‍ව සහිත කුශලා‘කුශල කර්‍මය චෙතනා-චෙතනා සම්ප්‍ර‍යුක්ත වශයෙන් වෙනසක් නො කොට සමුදය සත්‍යය යැ යි සත්‍ය විභඞ්ගයෙහි වදාළ හෙයිනි.)

 

සංස්කාරයන් ප්‍ර‍භව කොට ඇති විඥානය, ද්‍විතීය සත්‍යය ප්‍ර‍භව කොට ඇති ප්‍ර‍ථම (දුඃඛ) සත්‍ය යැ.

 

විඥානාදීන් ප්‍ර‍භව කොටැ ඇති නාම-රූපාදී විපාක වෙදනාවන් අවසාන කොට ඇති අවයව, ප්‍ර‍ථම සත්‍ය ප්‍ර‍භව කොට ඇති ප්‍ර‍ථම සත්‍ය යැ.

 

වේදනාව ප්‍ර‍භව කොට ඇති තෘෂ්ණාව, ප්‍ර‍ථම සත්‍ය ප්‍ර‍භව කොට ඇති ද්‍විතීය සත්‍ය යැ.

 

තෘෂ්ණා ප්‍ර‍ත්‍යයෙන් වන උපාදානය, ද්‍විතීය සත්‍යයෙන් නිපන් ද්‍විතීය සත්‍ය යැ.

 

උපාදානය ප්‍ර‍භව කොට ඇති භවය, ද්‍විතීය සත්‍යයෙන් නිපන් ප්‍ර‍ථම ද්‍විතීය සත්‍ය යැ.

 

භවය ප්‍ර‍භව කොට ඇති ජාතිය, ද්‍විතීය සත්‍යයෙන් නිපන් ප්‍ර‍ථම සත්‍ය යැ.

 

ජාතිය ප්‍ර‍භව කොට ඇති ජරා මරණ, ප්‍ර‍ථම සත්‍යයෙන් නිපන් ප්‍ර‍ථම සත්‍ය යැ යි මෙ සේ මේ භව චක්‍ර‍ය සත්‍ය ප්‍ර‍භව හෙයින් සුදුසු සේ දත යුතුයි.

 

2. මේ භව චක්‍රයෙහි අවිද්‍යාව රූපාදි ආලම්බනයන්හි ධර්‍ම ස්වභාවය වැසී මෙන් සත්වයන් මුළා කෙරේ. සංස්කාරයන් ගේ පහළ වීමට ද ප්‍ර‍ත්‍යය වේ.

 

එසේ ම සංස්කාර ද සහජාත සංස්කාරයනුදු රැස් කෙරේ. විපාත විඥානයට ප්‍ර‍ත්‍යය ද වේ.

 

විඥානය ද ආලම්බන විජානනය කෙරේ. නාම-රූපයනට ප්‍ර‍ත්‍යය ද වේ.

 

නාම-රූප ද ඔවුනොවුන් හට උපස්තම්භක වේ. ෂඩායතනයට ප්‍ර‍ත්‍යය ද වේ.

 

ෂඩායතනය ද තම තමන් විෂයක වූ රූපාලම්බනාදියෙහි පවතී. ස්පර්‍ශයට ප්‍රත්‍යය ද වේ.

 

ස්පර්‍ශය ද අරමුණු ස්පර්‍ශ කෙරේ. වේදනාවට ප්‍ර‍ත්‍යය ද වේ.

 

වෙදනාව ද ආලම්බන රසය අනුභව කෙරේ. තෘෂ්ණාවට ප්‍ර‍ත්‍යය වේ.

 

තෘෂ්ණාව ද ඇලිය යුතු ධර්‍මයන්හි ම ඇලේ. උපාදානයට ප්‍ර‍ත්‍යය ද වේ.

 

උපාදානය ද උපාදානයට ගෝචර ධර්‍මයන් දැඩි කොට ගැනීම කෙරේ භවයට ප්‍ර‍ත්‍යය ද වේ.

 

භවය ද නානා (පඤ්චවිධ) ගනීන්හි වික්‍ෂේපය කෙරේ. ජාතියට ප්‍ර‍ත්‍යය ද වේ.

 

ජාතිය ද ස්කන්ධයනුදු උපදව යි. (ඒ ස්කන්ධයන් අභිනව ප්‍රාදුර්‍භාව වශයෙන් පවත්නා හෙයිනි.) ජරා මරණයට ප්‍ර‍ත්‍යය ද වේ.

 

ජරා-මරණ ද ස්කන්ධයන් ගේ මිහි කිරීමෙන් බිඳීම් භාව-යෙහි සිටී. භාවන්තරයෙහි පහළ වීමට ප්‍ර‍ත්‍යය ද වේ. (ශෝකාදීන්ට කාරණ වන හෙයිනි) මෙ සේ සියලු පදයන්හි දෙපරිද්දෙකින් පවත්නා කෘත්‍ය වශයෙන් මේ භව චක්‍ර‍ය සුදුසු පරිදි දත යුතුයි.

 

(3) දෘෂ්ටිවාරණ වශයෙන්:- මේ භව චක්‍රයෙහි “අවිජ්ජා පච්චයා සඞ්ඛාරා” යන්නෙහි සංස්කාර ප්‍ර‍ත්‍යයොත්පන්නය යි දැක් වූ හෙයින් ඊශ්වරාදි කාරකයෙක් ඇත යන දෘෂ්ටිය වළකයි.

 

සංඛාර පච්චයා විඤ්ඤාණං” යන්නෙන් ‘භවයෙන් භවයට ආත්ම සංක්‍ර‍මණය වන්නේ ය’ යන මිථ්‍යාදෘෂ්ටිය වළකයි.

 

විඤ්ඤාණ පච්චයා නාම-රූපං” යන්නෙන් ආත්මය යි කල්පනා කරන ලද වස්තූන් නාම රූපය යි භෙද දන්නා හෙයින් ඝන සංඥාව වළකයි.

 

නාම-රූප පච්චයා සළායතනං” යනාදීන් ආත්මය ද දනී. ස්පර්‍ශ කෙරේ. විඳී, ආශා කෙරේ. දැඩිවැ අල්වා ගනී. වෙයි, උපදී. දිරයි. මියෙයි. යනාදි දර්‍ශන වළකයි (ආදි ශබ්දයෙන් ශොකාදිය ද ගැනේ) මෙ සේ මිථ්‍යා දෘෂ්ටි වළකන හෙයින් ද මේ භව චක්‍ර‍ය සුදුසු පරිදි දත යුතු යි.

 

4. උපමා වශයෙන් - අවිද්‍යාව කර්‍කශත්‍වාදී ස්වලක්ෂණ වශයෙන් ද, අනිත්‍යාදී සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන් ද ඒ ඒ ධර්‍මයන් නො දක්නා හෙයින් අන්‍ධයකු වැනිය.

 

අවිද්‍යා ප්‍ර‍ත්‍යයයෙන් වන සංස්කාර (දුඃඛොත්පත්තියට හෙතු වන  හෙයින්) අන්‍ධයා ගේ පැකිලීම මෙනි.

 

සංස්කාර ප්‍ර‍ත්‍යයයෙන් වන විඥානය (භවාන්තරයට පමුණුවන හෙයින්) පැකුළුණහු ගේ හීම මෙනි.

 

විඥාන ප්‍ර‍ත්‍යයයෙන් වන නාම-රූප, වැටුණහු ගේ ගඩ හට ගැනීම මෙනි.

 

නාම-රූප ප්‍ර‍ත්‍යයයෙන් වන ෂඩායතන, ගඩ පැසවා බිදීමට හටගත් බිබිලි මෙනි.

 

ෂඩායතන ප්‍ර‍ත්‍යයෙන් වන ස්පර්‍ශය, ගඩ හටගත් බිබිලි ගැටීම මෙනි.

 

ස්පර්‍ශ ප්‍ර‍ත්‍යයයෙන් වන වෙදනා, ඝට්ටනයෙන් හටගත් දුක මෙනි.

 

වෙදනාවෙන් වන තෘෂ්ණාව, දුකට ප්‍ර‍තිකාර කැමැත්ත මෙනි.

 

තෘෂ්ණා ප්‍ර‍ත්‍යයයෙන් වන උපාදාන, ප්‍ර‍තිකාර කැමැත්තෙන් අසත්ප්‍රාය ප්‍ර‍තිකාර ලැබීම මෙනි.

 

උපාදාන ප්‍ර‍ත්‍යයයෙන් වන භවය, ගන්නා ලද නො සැප බෙහෙත් ආලේපය මෙනි.

 

භව ප්‍ර‍ත්‍යයයෙන් වන ජාතිය, නො සැප ආලේපනයෙන් ගඩ විකාර පහළවීම මෙනි.

 

ජාති ප්‍ර‍ත්‍යයයෙන් වන ජරා-මරණ, ඉදිමීම්, පූයාහට ගැනීම් ආදියෙන් ගඩ බිඳීම මෙනි.

 

තවද උපමාවෙකි:- මෙහි අවිද්‍යාව ‘දුඃඛාදිය දැනීමට නො පිළිපැදීම ය, වරදවා පිළිපැදීම ය, යන මෙයින් සත්ත්වයන් මැඩ-පියන හෙයින් ඇසෙහි පටලයක් මෙනි. ඒ අවිද්‍යාවෙන් මඩනා ලද බාලයා පුනර්‍භවය ගෙන දෙන සංස්කාරයන් ගෙන් තමා ම පෙළේ. කොෂකාර කෘමියා (පට පණුවා) තමා ම කළ කොෂයෙහි වෙළෙන්නාක් මෙනි.

 

සංස්කාරයෙන් උපස්තම්භනය ලද විඥානය, පඤ්චවිධ ගතියෙහි පිහිට ලබා, මහ ඇමතියක්හු අරක් ගන්නා ලද රාජ කුමාරයකු රාජ්‍යයෙහි පිහිටන්නාක් මෙනි.

 

උත්පත්තියට නිමිති වූ කර්‍මාදි ආලම්බනයෙන් පරිකල්පිත හෙයින් විඥානය, ප්‍ර‍තිසන්‍ධියෙහි දේව-මනුෂ්‍යාදි අනේක ප්‍ර‍කාර නාම-රූප නිපදවයි. මායාකාරයා මවා පාන්නක් මෙනි.

 

නාම-රූපයෙහි පිහිටි ෂඩායතනය, වැඩීමට-පත් කිරීමට- මහත් බවට පැමිණි මනා බිමෙක පිහිටි වන ලැහැබක් මෙනි.

 

ආයතනයන්ගේ ගැටීමෙන් ස්පර්‍ශය උපදී. ගිනි ගානා දඬු ගැටීමෙන් වන ගින්න මෙනි.

 

ස්පර්‍ශයෙන් පහළහුට වෙදනා වේ. ගින්නෙන් පහරන ලද්දහුට දාහය මෙනි.

 

විඳින්නාහට තෘෂ්ණාව වැඩේ. ලුණු දිය බොන්නහුට පිපාසය මෙනි. තෘෂ්ණා ඇත්තේ භවයෙහි අභිලාෂ කෙරේ. පිපාසා ඇත්තහුට පැනෙහි රිසිය මෙනි. (ඒ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගැනීම ඔහු ගේ උපාදානය යි.) උපාදානයෙන් භවය ගනී. ආමිස ලොභයෙන් බිලිය ගන්නා මත්ස්‍යයා මෙනි.

 

භවය ඇති කළ ජාතිය වේ. බීජය ඇති කල අංකුරය මෙනි.

 

උපන්නහුට අවශ්‍යයෙන් ජරා-මරණ වේ. හටගත් වෘක්‍ෂයා ගේ වැඩීම මෙනි.

 

මෙසේ උපමායෙනුදු සුදුසු පරිදි මේ භවචක්‍ර‍ය දතයුතු.

 

(5) ගම්භීර හෙයින් : භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාදය, අත්ථි ධර්‍ම - දෙශනා -ප්‍ර‍තිවේධ වශයෙන් ගැඹුරු බව් නිසා “ගම්භීරොචායං ආනන්‍ද පටිච්චසමුප්පාදො ගම්භීරවභාසො ච”[730] ‘ආනන්‍දය, මේ පටිච්චසමුප්පාදය ගැඹුරු යැ. ගැඹුරු වැ මැ වැටහේ’ ය යි වදාළසේක. මෙසේ ගම්භීර භෙද වශයෙන් ද භව චක්‍ර‍ය දත යුතු යි.

 

විස්තර:- ජාති ප්‍ර‍ත්‍යයයෙන් ජරා-මරණ නො වන්නේ නො වේ. වන්නේ මැයි. ජාතිය හැර අනෙකකින් ජරා-මරණ නො වේ. මෙසේ ජාති ප්‍ර‍ත්‍යයයෙන් වන්නේ ය යි (මෙ සේ ජාති ප්‍ර‍ත්‍යයයෙන් වන බව) දත නො හැකි බැවින් ජරා-මරණ ප්‍ර‍ත්‍යයයෙන් හට ගෙන ඒ හා එක්වැ පැවැතැ ඒ අනුවැ ම මතු මත්තෙහි පැමිණීම් සඞ්ඛ්‍යාත තත්ත්‍වය අවබෝධ කිරීමට දුෂ්කර හෙයින් ගැඹුරු ය. එසේ ම ජාතිය ගේ භව ප්‍ර‍ත්‍යයයෙන් හටගැනීම් ආදි අර්ථය ද ගම්භීර යැ.

 

(මෙහි ‘ජාති ප්‍ර‍ත්‍යයයෙන් ජරා-මරණ නො වන්නේ නොවේ’ යනුවෙන් අවිතථාර්ථය දක්ව යි. ‘ජාතිය හැර අනෙකකින් ජරා-මරණ නො වේ’ යනුවෙන් අනන්‍යථර්‍ථය දක්වයි. මෙසේ ‘ජාති ප්‍ර‍ත්‍යයයෙන් වන්නේ යැ, යන්නෙන් තථාර්ථය දක්ව යි. එහෙයින් ප්‍ර‍ත්‍යය ධර්‍ම ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍මයනට ප්‍ර‍ත්‍යය භාවයෙහි තථා, අවිතථ, අනඤ්ඤථ වන්නාසේ ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍ම ද ප්‍ර‍ත්‍යය ධර්‍ම ඇති කල්හි ම වන බව දක්වයි. සෙස්සෙහි ද මෙසේ මැ යි.)

 

එසේ ම ජාතිය භව ප්‍ර‍ත්‍යයෙන් සම්භූත සමූදාගතාර්ථය ද, -පෙ-සංස්කාර අවිද්‍යා ප්‍ර‍ත්‍යයයෙන් සම්භූත සමුදාගතාර්ථය ද ගැඹුරු යැ.

 

එසේම මේ භව චක්‍ර‍ය අත්‍ථි හෙයින් ගැඹුරු යැ. මේ මෙහි අත්‍ථි ගම්භීරතා යි.

 

හේතු - ඵලය අත්‍ථිය යි කියනු ලැබේ.

 

එයින් වදාළහ. “හෙතුඵලෙ ඤාණං අත්‍ථපටිසම්භිදා[731] ‘හෙතු-ඵලයෙහි ඤාණය අර්‍ථ ප්‍ර‍තිසම්භිදා’ යැ.

 

යම් ආකාරයකින් යම් අවස්ථාවෙකින් සිටි අවිද්‍යාව ඒ ඒ සංස්කාරයනට ප්‍ර‍ත්‍යය වේ නම් ඒ ආකාර දුරවබොධ බැවින් අවිද්‍යාව ගේ සංස්කාරයනට ප්‍ර‍ත්‍යයාර්ථය ගම්භීර යැ. සංස්කාරදීන් ගේ ද විඥානාදියට ප්‍ර‍ත්‍යයාර්ථභාවය ද එසේ මැයි (අවස්ථා විශේෂවත් ධර්‍මයෝ ඒ ඒ අවස්ථා විශේෂයෙන් යුක්ත වැ ඒ ඒ කෘත්‍යයන් සාධන්නට සමර්‍ථ වෙත් යනු සත්‍ය යි.)

 

එසේම මේ භව චක්‍ර‍ය ධර්‍ම ගම්භිර යැ.

 

හේතු හට ධර්‍ම යනු නමි. එහෙයින් වදාළහ. “හෙතුම්භි ඤාණජ ධම්මපටිසම්භිදා”1 ‘හේතුවෙහිපවත්නා නුවණ ධම්ම පටිසම්භිදා’ යැ.

 

මේ මෙහි ධර්‍ම ගම්භිරතා යැ.

 

දෙශනා ගම්භීරතාව, ඒ භව චක්‍ර‍ය විනෙය ජනයන් ගේ චතුඃසත්‍යාවබෝධයට අනුරූප සේ ඒ ඒ කාරණයෙන් අනුලොම-ප්‍ර‍තිලොමාදි ඒ ඒ ප්‍ර‍කාරයෙන් පැවැත්විය යුතු හෙයින් දේශනාවගම්භිර යැ. ඒ දෙශනාන ප්‍ර‍කාරයෙහි සර්‍වඥතාඥානය විනා අන්‍ය ඥානයෙන් පිහිට නො ලබා.

 

එහෙයින් ම මේ භව චක්‍ර‍ය අනුලොමයෙන් (ආදියෙහි පටන් අන්තය තෙක්) ද කිසියම් සූත්‍රයෙකැ ප්‍ර‍තිලොමයෙන් (අන්ත යෙහි පටන් ආදිය තෙක්) ද, කිසියම් සූත්‍රයෙකැ අනුලොම ප්‍ර‍තිලොමයෙන් ද, කිසි සූත්‍රයෙකැ මැද පටන් අනුලොම වශයෙන් ද, ප්‍ර‍තිලොම වශයෙන් ද, කිසි සූත්‍රයෙකැ ත්‍රි සන්‍ධි චතුඃ සංක්‍ෂේප කොට (ආදියෙහි පටන් අනුලොම දෙශනා වෙන් ද, අන්තයෙහි පටන් ගෙන ප්‍ර‍තිලොම දෙශනා වෙන්) ද කිසි සූත්‍රයෙකැ ද්‍විසන්ධි ත්‍රි සංක්‍ෂේප කොට ද, “ඉමෙ චත්තාරො ආහාර කිං නිදානා”[732] යනාදීන් මධ්‍යයෙහි පටන් ප්‍ර‍තිලොම දේශනාවෙන් ද, චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්‍ඛුව්ඤ්ඤාණං තිණ්ණං සඞ්ගති ඵස්සො ඵස්ස පච්චයා වේදනා[733] යනාදින් මධ්‍යයෙහි පටන් අනුලොම දේශනාවෙන් ද, කිසි සූත්‍රයෙකැ එකසන්‍ධි ද්විසංක්‍ෂේප කොට ද “සංයොජනීයෙසු භික්ඛවෙ ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪතී තණ්හා පච්චයා උපාදානං”[734] යනාදීන් දේශනා කරන ලදී.

 

මෙසේ මේ භව චක්‍ර‍ය දෙශනා වශයෙන් ද ගම්භීර යැ.

 

තවද, මේ භව චක්‍රයෙහි අවිද්‍යාදීන් ගේ යම් ස්වභාවයෙක් වේ නම් යම් ස්වභාවයකින් අවිද්‍යාදිය අවිපරිත කොට ස්වලක්‍ෂණය වශයෙන් ප්‍ර‍තිවේධ කරන ලද්දේ වේ නම්, අවිද්‍යාදීන් ගේ අඥාන අදර්‍ශනාදි ඒ ස්වභාවය නුවණින් අන්‍යයන් විසින් නො බැස්ස හැකි බැවින් ගැඹුරු යැ. මෙසේ මේ භව චක්‍ර‍ය ප්‍ර‍තිවේධ වශයෙන් ගම්භීර යැ.

 

ඒ මෙසේ යි:- (1) මේ භව චක්‍රයෙහි මේ අවිද්‍යාව ඥානයට ප්‍ර‍තිපක්‍ෂ භාවය වූ අඥානාර්ථය, අරමුණු ප්‍ර‍ත්‍යක්‍ෂ කිරීමට ප්‍ර‍තිපක්‍ෂ වූ අදර්‍ශනාර්ථය, සත්‍යයන් තතු සේ ප්‍ර‍තිවෙධ කිරීමට බාධක ස්වභාවය වූ සත්‍යයන් ගේ අසම්ප්‍ර‍තිවෙධාර්තාය යන ත්‍රිවිධ අර්ථයෙන් ගම්භීර යැ.

 

(මේ කරුණෙන් අඥාන නම, මේ කරුණෙන් අදර්‍ශන නම, මේ කරුණෙන් සත්‍යාසම්ප්‍ර‍තිවෙධ නමැ යි ඒ ත්‍රිවිධ ස්වභාවයන් දුෂ්ප්‍ර‍තිවෙධ බැවින් ගම්භීර යැ. මෙ නමින් මතුයෙහි ද යොදන්නේ යි යනු සත්‍යයි.)

 

2. සංස්කාරයන් ගේ කර්‍මයන් සකස් කරන බව ය. පූර්‍ව භාගයෙහි දානාදි වූ වස්තූන් පිළියෙළ කරන බව ය. අපූණ්‍යාභි සංස්කාර වශයෙන් රාගයට අනුකූල බව ය. පුණ්‍යාභිසංස්කාර වශයෙන් රාගයට ප්‍ර‍තිපක්‍ෂ බව ය යන මේ අර්ථය ගම්භිර යැ.

 

(රාගයට අප්‍ර‍තිපක්‍ෂ බැවින් රාගප්‍ර‍වර්‍ධක බැවින් සියලු අපුණ්‍යාසංස්කාරය ම රාග නම් වේ. ඉතරය තත් ප්‍ර‍තිපක්‍ෂ බැවින් විරාගය යි දතයුතු.)

 

3. විඤ්ඤාණයා ගේ ආත්ම ස්වභාවයෙන් ශූන්‍ය බව ය, අව්‍යාපාරාර්‍ථය, අසංක්‍ර‍මණාර්‍ථය ප්‍ර‍තිසන්‍ධි වශයෙන් පහළ වන බව ය යන මේ අර්ථය ගම්භීර යැ.

 

4. නාම රූපයා ගේ එක්වැ ඉපදීම යැ, අමිශ්‍ර‍ය පැවැත්වීම ය, නාමයන් නාමයන් හා එක්වැ මිශ්‍ර‍ව පැවැත්මය. නාම ය අරමුණෙහි නැමෙන බවය, රූපය විකාරයට පැමිණෙන බව ය යන මේ අර්ථය ගම්භීර යැ.

 

5. ෂඩායතනයා ගේ දර්‍ශනාදියෙහි අධිපති බව ය, ලොක බව ය, වාර බව ය, ක්‍ෂේත්‍ර‍ බව ය, විෂයි බව ය යන මේ අර්ථය ගම්භීර යැ.

 

6. ස්පර්‍ශයා ගේ අරමුණු ස්පර්‍ශ කිරීම් බව ය, අරමුණෙහි ගැටෙන බව ය, වස්තු ආලම්බන විඥානයන් එක්වන බව ය වස්තු ආලම්බන විඥානයන් එළඹ සිටින බව ය යන මේ අර්ථය ගම්භීර යැ.

 

7. වෙදනාව ගේ අරමුණු රස විඳීම් කෘත්‍ය කොට ඇති බව ය, සැප දුක්හි මැදහත් බව ය, සත්ත්‍වයකු නො වන බව ය, අරමුණු රස විඳීම් ලක්‍ෂණ කොට ඇති බව ය යන මේ අර්ථය ගම්භිර යැ.

 

8. තෘෂ්ණාව ගේ අරමුණෙහි සතුටු වන බව ය, අරමුණ ගිල ගන්නාක් මෙන් තදින් එහි ලොල් වන බව ය, අරමුණ කරා බව බව ය, අරමුණෙහි වෙළෙන බව ය, ගඟක් මෙන් දිගට යන බව ය, පවස් ඇති බව ය, සමුද්‍ර‍ය මෙන් පිරවිය නො හැකි බව ය යන මේ අර්ථය ගම්භිර යැ.

 

9. උපාදානයා ගේ අරමුණු දැඩිවැ ගන්නා බව ය, (කාමොපාදානය) කැමැතිවීම් වශයෙන් ගන්නා බව ය, (දිට්ඨි උපාදානය) නිත්‍යාදි වශයෙන් ගන්නා බව ය, (සීලබ්බතූපාදනය) ආත්මාදි වශයෙන් ගන්නා බව ය, (අත්තවාදූපාදානය) ගත් අරමුණ ඉක්මවාලිය නො හැකි බව ය යන මේ අර්ථය ගම්භීර යැ.

 

10. භවයා ගේ පූර්‍ව භාගයෙහි දානාදි වස්තු සම්පාදනය කිරීම් වශයෙන් කර්‍ම රැස් කරන බව ය, කර්‍ම පසක් කොට පිළියෙල කරන බව ය, යොනි-ගති-ස්ථිති-සත්ත්වාවාසයන්හි බලා ලන බව ය යන මේ අර්ථය ගම්භීර යැ.

 

11. ජාතිය ගේ ස්කන්‍ධයන් ගේ (අපරිපූර්‍ණත්වයෙන්) පහළ වන  බව ය. (පරිපූර්‍ණත්වයෙන් ආයතනයන් ගේ) උපදනා බව ය, මවු කුස වදනාක් මෙන් උපදනා බව ය, ස්කන්‍ධයන් ගේ ප්‍ර‍කට සේ පහළ වන බව ය යන අර්ථය ගම්භීර යැ.

 

12. ජරා-මරණයා ගේ ක්‍ෂය බව ය, ව්‍යය බව ය, බිඳෙන බව ය, අන්‍යථාත්‍වයට පැමිණෙන බව ය, යන මේ අර්ථය ගම්භීර යැ.

 

මේ භව චක්‍රයෙහි ප්‍ර‍තිවෙධ වශයෙන් ගැඹුරු බව යි.

 

(5)     නය වශයෙන්

1.  සමාන භාවය වූ එකත්ත නය යැ

2.  අසමාන භාවය වූ නානත්ත නය යැ

3.  නිරුත්සාහ භාවය වූ අව්‍යාපාර නය යැ

4.  අවිද්‍යාදී ධර්‍මයන් ගේ මේ ස්වභාවය යි කියන ලද එවං ධම්මතා නය යැ යි අර්ථ නය සතරෙකි.

 

මෙසේ මේ භව චක්‍ර‍ය නය භෙදයෙන් ද සුදුසු පරිදි දතයුතු.

 

(1) ඒ චතුර්විධ නය අතුරින් එකත්‍ව නය මෙසේ යි : බීජයේ අඞ්කුර-පත්‍ර‍-ස්කන්‍ධ-ශාඛා-පලාසාදි භාවයෙන් වෘක්‍ෂ භාවයට පැමිණීම මෙන්, ‘අවිද්‍යා ප්‍ර‍ත්‍යයයෙන් සංස්කාරය වේ’ ‘සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් විඥානය වේ’ යැ යන මේ පරිද්දෙන් සන්තතිය නො සිඳ පැවැත්ම ඒකාන්ත නය යැ.

 

විස්තර:- ඒ එකත්‍ව නය අවිපරීත කොට දක්වන්නේ හේතු ඵල ධර්‍මයන් ගේ ගැළපීමෙන් වන්නා වූ හේතු-ඵල පරම්පරාව නො සිඳ පැවැත්ම ඇති සැටි අවබොධ කරන හෙයින් උච්ඡෙද දෘෂ්ටිය සිඳී.

 

ඒ සන්තතිය ගේ නො සිඳ පැවැත් ම විපරීත කොට දක්නේ හේතු-ඵල ධර්‍මයන් ගේ ගැළපීමෙන් වන්නා වූ හේතු-ඵල පරම්පරාව නො සිඳ පැවැත් ම, හේතු-ඵල භේදයක් නො කොට එකත්‍වය යි ගැනීමෙන් ශාස්වත දෘෂ්ටිය දැඩිකොට ගනී.

 

(2) අවිද්‍යාදීන් ගේ තම - තමා පිළිබඳ ලක්ෂණ විනිශ්චය කොට දැකීම නානාත්‍ව නය නමි.

 

විස්තර:- එය ලක්ෂණ ව්‍යවස්ථානයෙන් අවිපරීත කොට දක්නේ අභිනව ධර්‍මයන් ගේ ඉපැත්ම දක්නා හෙයින් ශාස්වත දෘෂ්ටිය හරී.

 

ඒ ලක්ෂණ ව්‍යවස්ථානය විපරීත කොට දක්නේ එකම සන්තානයෙකැ (පරම්පරාවෙකැ) පතිත වූ හේතු-ඵල ධර්‍ම සමූහයක ගේ භින්න සන්තානයෙකැ පැවැති හේතු-ඵල පරම්පරාවක් මෙන් නානාත්‍වයෙන් ගන්නා හෙයින් උච්ඡේද දෘෂ්ටිය දැඩි කොට ගනී.

 

(3) සංස්කාර ‘මා විසින් ඉපද විය යුතු’ යැ යි අවිද්‍යාවට හෝ විඤ්ඤාණ ‘අප විසින් ඉපදවිය යුතු’ යැ යි සංස්කාරයනට හෝ මෙසේ මේ ආදි ව්‍යාපාරයක් (උත්සාහයක්) නැති බව අව්‍යාපාර නය නමි.

 

විස්තර:- එය අවිපරිත කොට දක්නේ ඊශ්වරාදි කාරකයකු අවිද්‍යාමාන බව අවබෝධ කිරීමෙන් ආත්ම (නිර්‍මාණ) දෘෂ්ටිය දුරු කෙරේ. ඒ අව්‍යාපාර නය විපරීත කොට දක්නේ උත්සාහය නැති කල්හි දු අවිද්‍යාදී ස්වභාවයම වූ නියම වශයෙන් සිද්ධ යම් හේතු ස්වභාවයෙන් වේ නම් ඒ හේතු භාවය වටහා නො ගැනීමෙන් අක්‍රිය දෘෂ්ටිය දැඩි කොට ගනී.

 

(4) එවංධම්මතා නය, කිරි ආදිය හේතු කොට ගෙන දී ආදි ඵලය ලැබීම වන්නාක් මෙන් අවිද්‍යාදී ප්‍ර‍ත්‍යයන් හේතු කොට සංස්කාරාදි ඵලයන් ගේ ලැබීම වේ. සංස්කාරාදීන් විනා අන්‍ය ඵලයන් ගේ ලැබිම නො වේ ය යි මෙසේ වූයේ එවං ධම්මතා නය නම් වේ.

 

එවංධම්මතා නය අවිපරීත කොට දක්නේ ප්‍ර‍ත්‍යයට අනුරූප පරිද්දෙන් ඵලය ඇති සේ අවබෝධ කරන හෙයින් අහේතුක දෘෂ්ටිය ද, අක්‍රිය දෘෂ්ටිය ද බැහැර කෙරේ.

 

ඒ විපරීත කොට දක්නේ ප්‍ර‍ත්‍යයට අනුරූප සේ ඵල ප්‍ර‍වෘත්තිය වටහා නොගෙන අනියම් හේතුවකින් අනියම් ඵලයක් නො වීම වටහා නො ගැනීමෙන් අහේතුක දෘෂ්ටිය හා නියති වාදය දැඩි කොට ගනී.

 

මෙසේ මේ භව චක්‍ර‍ය වේ.

 

මේ භව චක්‍ර‍ය ඉතා ගැඹුරු හෙයින් නුවණින් බැස ගත නො හේ. නානා නයින් ගහණ හෙයින් ඉක්ම වීමට දුෂ්කර යැ. සමාධි නැමැති උතුම් හන ගලෙහි මනාව මුවහත් කළ මාර්‍ගඥාන නැමැති කඩුවෙන් හෙන සත් මඬලක් මෙන් නිතොර මැඩ පියන්නා වූ භව චක්‍ර‍ය නො පළා සසර බිය සිහිනෙනුදු ඉක්මැ වූ කිසිවෙක් නැති.

 

බුදුහු මෙසේ වදාළහ.

 

“ගම්භීරොචායං ආනන්‍ද! පටිච්චයසමුප්පාදො ගම්භීරාවභාසො ච එතස්සවානන්‍ද ධම්මස්ස අඤ්ඤණා අනනූබොධා අප්පටිවෙධා එවමයං පජා තන්නතාලුකජාතා ගුළා ගුණඪික ජාතා, මුඤ්ජබබබ්බජ භුතා, අපායං, දුග්ගතිං විනිපාතං, සංසාරං නාතිවත්තති”[735] ‘ආනන්‍ද! මේ පටිච්චසමුප්පාද ධර්‍මය ගැඹුරු යැ. ගැඹුරුව ම වැටහෙන්නේ යැ. ආනන්‍දය! මේ පටිච්චසමුප්පාද ධර්‍මය නොදැනීමෙන් අවබෝධ නො කිරීමෙන්, මෙසේ මේ ප්‍ර‍ජාව අවුල් වූ හූවටක් බඳුවැ වඩු කිරිල්ලක ගේ කැදැල්ලක් බඳු වූ, මුදුණත -  බබුස්තණ බඳුවැ දුකට ගති වූ විවසවැ පතිත වන අපාය ද, සසර ද නො ඉක්මවයි’

 

එහෙයින් තමහට ද, මෙරමා හට ද, හිත වැඩ පිණිස පිළිපන්නේ සෙසු කිස තබා ප්‍ර‍තීත්‍ය සමුත්පාද ධර්‍මයෙහි වැර වඩන්නේ ය.

 

“මෙ සසුන නැණැතියෝ - ගැඹුරු පිළිසමුපාභි*[736]

පිහිට ලබනසෙ නිරතුරු-සිහියෙන් වැර වඩත්වා”

 

හුදී ජකවා ගේ ප්‍ර‍සාදය සඳහා කළ විශුද්ධිමාර්‍ගයෙහි විදර්‍ශනා භාවනාධිකාරයෙහි ප්‍ර‍ඥාභූමි නිර්‍දෙශ නම් සතළොස් වන පරිච්ඡේදය යි.

 


18 වන පරිච්ඡේදය

දිට්ඨි විසුද්ධි නිර්දේශය

 

මේ විදර්‍ශනාවට භූමි වූ (ස්කන්ධායතනාදී) ධර්‍මයන්හි වාවොද්ගත කිරීම් වශයෙන් උද්ග්‍ර‍හණයෙන් ද, අර්‍ථාවබොධය පිණිස නැවැතැ-නැවැතැ විචාරීමෙන් පරිපූච්ඡා වශයෙන් ද ශ්‍රැතමය ඥානය උපදවා ශීල විශුද්ධිය, චිත්ත විශුද්ධියදැ යි මූලික විශුද්ධි දෙක සම්පාදනය කළ යුතුය යි (මා විසින්) පෙර කියන ලදී.

 

එහි සුපරිශුද්ධ වූ ප්‍රාතිමොක්‍ෂ සංවරාදි චතුර්විධ පාරිශුද්ධි ශීලය ශීල විශුද්ධිය යැ. එ ද ශීල නිර්‍දෙශයෙහි විස්තර කරන ලද්දේ මැයි

 

උපචාර සමාධි සහිත අෂ්ට සමාපත්ති චිත්ත විශුද්ධිය යැ. හෙද චිත්ත ශීර්‍ෂයෙන් සමාධි නිර්‍දෙශයෙහි සර්‍වප්‍ර‍කාරයෙන් විස්තර කරන ලද්දේම ය.

 

එහෙයින් සීල විසුද්ධි-චිත්ත විසුද්ධි දෙක එහි විස්තර කළ නයින් ම දතු යුතු ය.

 

දිට්ඨි විසුද්ධිය‍,

කඞ්ඛාවිතරණවිසුද්ධිය,

මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය,

පටිපදා ඤාණදස්සන විසුද්ධිය,

 

ඤාණදස්සන විසුද්ධිය යන මේ පඤ්ච විසුද්ධිය ශරීරය යි, යමක් ගැන කියන ලද ද, පඤ්ඤභූමි (පටිච්චසමුප්පාද) නිර්‍දෙශයට අනතුරු යැ දැන් එය මෙහි දක්වනු ලැබේ.

 

ඒ විශුඬීන් අතුරින් නාම-රූපයන් ගේ ඇති සැටි දැකීම දිට්ඨිවිසුද්ධිය යි. (නාම-රූපයන් බෙදා තතු සේ දැකීමෙන් දෙ සැට (62) මිථ්‍යා දෘෂ්ටියෙන් මිදෙන හෙයින් ඒ දිට්ඨිවිසුද්ධිය යි කියනු ලැබේ.) ඒ සම්පාදනය කරනු කැමැති සමයථානික (සඋපචාර අෂ්ට සමාපත්තියෙහි පිහිටා විදර්ශන වඩනු කැමැති) යොගාවචරයා විසින් පළමු කොට නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානයහැර සෙසු රූපාවචර-අරූපාවචර ධ්‍යානයන් අතුරින් එක්තරා ධ්‍යානයකින් නැඟී විතර්‍කාදි ඒ ඒ ධ්‍යානාඞ්ග හා ඒ හා යෙදුණු ඵස්සාදි ධර්‍මයන් ද ලක්ඛණ - රස - පච්චුපට්ඨාන - පදට්ඨාන වශයෙන් පිරිසිඳ ගත යුතුයි.

 

එසේ පිරිසිඳ ගෙන මේ සියලු ධ්‍යානාඞ්ග හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් ද අරමුණට අභිමුඛවැ නැමෙන හෙයින් නාමය යි ව්‍යවස්ථා (විනිශ්චය) කටයුතු යි. (රූපය හා මිශ්‍ර‍නො කොට සිතෙහි තැබිය යුතුයි) අනතුරු යැ, පුරුෂයෙක් ඇතුලු ගෙයි සර්‍පයකු දැක ලුහුබැඳ යන්නේ සර්‍පයා ගේ වාසස්ථානය යම්සේ දක්නේ ද, එමෙන් ම මේ යෝගාවචර තෙමේත් ඒ නාමය නුවණින් පරීක්‍ෂා කරනුයේ මේ නාමය කුමක් ඇසුරු කොට පවත්නේ දැයි නැවැතැ-නැවැත සොයනුයේ එයට නිඃශ්‍ර‍ය වූ හෘදය රූපය දකී.

ඉක්බිති හෘදය රූපයට නිඃශ්‍ර‍ය වූ සතර මහා භූතයන් ද, සතර මහා භූතයන්ට නිශ්‍ර‍ය වූ සෙසු සූවිසි (24) උපාදාය රූපදැ යි මෙසේ අටවිසි (28) රූපයන් නුවණින් දැක මේ සියලු රූප රූප්පනය වන (විකාරයට පැමිණෙන) අර්‍ථයෙන් රූපය යි පරිග්‍ර‍හ කෙරේ.

 

ඉක්බිති අරමුණට නැමෙන ලක්‍ෂණය ඇත්තේ නාමය යි ද, රූප්පන (විකාරවීම්) ලක්‍ෂණය ඇත්තේ රූපයයි ද, සැකෙවින් නාම-රූප දෙක විනිශ්චය කෙරේ.

 

(මෙසේ අරූප මඛයෙන් සමථයානිකයා ගේ විදර්‍ශනාවට බැස ගැනීම දක්වා දැන් රූප මුඛයෙන් ශුද්ධ විදර්‍ශනායානිකයා දක්වන්නාහු මේ කියති.)

 

ශුද්ධ විදර්‍ශනායානිකයා හෝ මේ සමථයානිකයා පෙර චතු ධාතු වවත්‍ථානයේ කී ‘සතබ්ධ ලක්‍ෂණය පෘථිවි ධාතු යැ’ යනාදීන් ඒ ඒ ධාතු පරිග්‍ර‍හ මුඛයන් අතුරින් එක්තරා මුඛයකින් සංක්‍ෂේපයෙන් හෝ විස්තරයෙන් හෝ පෘථිවි ආදි සතර ධාතුන් පරිග්‍ර‍හ කෙරේ.

 

අනතුරුවැ ඒ යෝගියා හට ඇති සේ (තමා) කෘත්‍ය හා ලක්‍ෂණ වශයෙන් ධාතූන් ප්‍ර‍කට වූ කල්හි පළමු කොට කර්‍මයෙන් හටගත් කේශයෙහි පඨවි ආදි ධාතු සතර ද, වර්‍ණය, ගන්‍ධය, රසය, ඔජාවය, ජීවිතය, කායයප්‍ර‍සාදය යි මෙසේ  කාය දශක වශයෙන් රූප දශයක් ද, කර්‍ම සමුත්‍ථාන රූපයෙහි භාව රූපය ඇති හෙයින් ඒ කෙශයෙහි ම භාව දසක වශයෙන් දශකයෙක් ද, ඒ කෙශයෙහි ම ආහාර සමුත්‍ථාන ශුද්ධාෂ්ටකය, සෘතු සමුත්‍ථාන ශුද්ධාෂ්ටකය, චිත්ත සමුත්‍ථාන ශුද්ධාෂ්ටකයදැ යි අන්‍ය වූ සූවිසි (24) රූපයක්දැ යි මෙසේ කර්‍ම-චිත්ත-සෘතු-ආහාර වශයෙන් හටගත් කේශාදි සූවිසි (24) කොටස්හි එකක් පාසා කර්‍මජ රූප විස්ස ය. චිත්ත-සෘතු ආහාරජ සූවිස්සදැ යි රූප සුසාලිස (44) බැගින් (වේය යි මෙසේ දෙතිස් කොටස් අතුරින්) මේ සූවිසි කොටසෙහි එක් දහස් සපනසක් (1056) රූපවේය යි ද දකී.

 

දෙතිස් කොටසින් ඉතිරි අට කොටස් අතුරින් සෙද-අස්සු-ඛෙල-සිද්‍ධඝාණිකා යන සතරෙහි උතු-චිත්ත සමුඨාන ඕජට්ඨමක රූප දෙක - දෙකදැයි කොටස් සොළස (16) බැගින් රූප සූසැට (64) ක්ද, උදරිය-කරීස-පුබ්බ-මුත්ත යන සතර කොටසෙහි උතුසමුඨාන ශුද්‍ධාෂ්ටකය බැගින් කොටස් දෙතිස (32) ක් දැයි රූප (64+32 = 96) සයානුවෙක් වේ.

 

මේ පළමු කොට ද්‍වතතිංසාකාරයෙහි කොටස් ක්‍ර‍මය යි. මෙසේ දෙතිස් කොටසෙහි රූප (1056+96=1152ක්) එක් දහස් එකසිය දෙපනසෙක් වේ. මේ දෙතිස් කොටස ප්‍ර‍කට වූ කල්හි අනෙකුදු තෙජො කොටස් සතර ද, වායු කොටස් සයදැ යි දසය ප්‍ර‍කට වේ.

 

තේජෝ කොටස් සතර අතුරින් අසිත-පීත-ඛායිත-සායිත ආහාර පැසවන කර්‍මජ තේජෝධාතු කොටසෙහි පිහිටි ඔජට්ඨමක රූපය ද, ජීවිතින්‍ද්‍රියදැ යි නව රූප කෙනෙක් වෙති. එසේම චිත්තජ ආශ්වාස-ප්‍ර‍ශ්වාස කොටසෙහි ද, ඔජඨමක රූපය ද, ශබ්දයදැ යි රූප නවයෙක් පහළ වේ. සෙසු තෙජො කොටස් තුනෙහි ද, වායෙ කොටස් පසෙහි දැයි යන අට කොටසෙහි ජීවිත නවක කලාපය හා චිත්ත-සෘතු-ආහාර තුනින් හටගත් ඔජඨමක රූප කලාප තුන - තුනදැ යි තෙතිස් (33) රූපයක්  ප්‍ර‍කට වේ.

 

විස්තර:- තවන - දිරවන - දවන තෙජො කොටස් තුන ද, උද්ධද්‍ධගම වාතය, අධොගම වාතය, කුච්ඡිසය වාතය, කොට්ඨසය වාතය, අඞ්ගමඞ්ගානුසාරී වාතය, යන මේ වාත කොටස් පසදැ යි (3+5=8) අට තෙජො - වායො ධාතු කොටස් අතරින් එකක් පාසා නව කලාපයක් හා ඔජඨමක තුන-තුන බැගින් ගෙන සූවිස්සෙකැයි (9+24=33) තෙතිස් - තෙතිස් රූප ප්‍ර‍කට වේ. මෙසේ ඒ දස කොටස්හි (18=264=282) දෙසිය අසූ දෙකක් රූපයෝ වෙති.

 

මෙසේ ඒ යෝගීහට විස්තර වශයෙන් පඨවි කොටස් දෙවිස්ස යැ. ආපො කොටස් දස යැ. තේජෝ කොටස් සතර යැ. වායෝ කොටස් සය දැයි දෙසාලිස් (42) ආකාරයෙන් මේ භූත රූප සතර ද උපාදාය රූප සූවිස්ස ද ප්‍ර‍කට වූ කලැ චක්ඛු - සොත - ඝාන - ජිව්හා - කාය - හදයවත්ථු යන මේ ෂඩ් වස්තු හා චක්ඛු - සොත - ඝාන - ජිව්හා - කායද්‍වාර යන ද්‍වාර පසදැ යි මොවුන් ගේ වශයෙන් චක්ඛු - සොත - ඝාන - ජිව්හා - කාය දසක පස ද හදයවත්ථු දසකයදැ යි අන්‍ය වූ සැට (60) රූප කෙනෙක් ප්‍ර‍කට වෙති.

 

(මෙහි අවිනර්‍භොග අට යැ, ජීවිතින්‍ද්‍රිය යැ, චක්ඛුප්පසාදයදැ යි මේ චක්ඛු දසකය යි. සෝත දසකාදියෙහි ද, සොතප්පසාදාදිය හා වත්ථුදසකයෙහි හදයවත්ථුව ද විශේෂයි.)

 

ඒ යෝගී තෙමේ යට කී සියලු රූප රුප්පන ලක්ෂණයෙන් එක්කොට මේ රූපය යි නුවණින් බලයි.

 

මෙසේ නුවණින් ගන්නා ලද ඒ රූප ඇති ඒ යෝගීහට ද්‍වාර වශයෙන් අරූප ධර්‍ම ප්‍ර‍කට වේ.

 

ඒ මෙසේ යි:- (1) දෙපස් විඤ්ඤාණ යැ. (සම්පටිච්ඡන ද්‍වයය පඤ්චද්‍වාරාවර්‍ජනය යන) මනොධාතු ත්‍ර‍ය යැ. සෙසු අට සැටක් (68) මනොවිඤ්ඤාණ ධාතුදැ යි එක් අසූවක් (81) ලෞකික සිත් වේ.

 

ඒ එක් අසූ සිත්හි අවිශේෂයෙන් සහජාත ඵස්ස යැ, වේදනා යැ, සඤ්ඤා යැ, චේතනා යැ, ජීවිතින්‍ද්‍රිය යැ, එකග්ගතා යැ, මනසිකාර යැ යන මේ චෛතසික සත ප්‍ර‍කට වේ.

 

විශේෂ:- ලෝකෝත්තර මාර්‍ග - ඵලසිත් අට ඒ ශුද්ධ විදර්‍ශනායානික වූ හෝ සමථයානික වූ හෝ යොගියාහට පරිග්‍ර‍හ නොවේ. අවබොධ කිරීම් වශයෙන් නො පැමිණි හෙයිනි. ඒ යෝගී තෙමේ ඒ සියලු අරූපි ධර්‍ම නැමෙන ලක්ෂණයෙන් එක් කොට මේ නාමය යි දකී.

 

මෙසේ එක් යෝගාවචරයෙක් චතුර්‍ධාතු ව්‍යවස්ථාන කිරීම් වශයෙන් විස්තර සේ නාම-රූප දෙක විනිශ්චය කෙරේ.

 

(2) අනෙක් යෝගාවචරයෙක් චක්ඛු ධාතු ආදි අටළොස් (18) ධාතු වශයෙන් ව්‍යවස්ථා කෙරේ.

 

ඒ මෙසේයි:- මේ සස්නෙහි මහණ තෙමේ මේ අත්බැව්හි චක්ඛුධාතුව ඇතැයි ද, -පෙ- මනොධාතුව ඇතැයි ද, ධාතුන් ආවර්‍ජනා කොට (ලෝවැස්සා චක්ඛුයැ යි ගන්නා සුදු-කළු මණ්ඩලයෙන් විසිතුරු වූ දිගු - පුළුල් ඇස් වළෙහි නහර හුයින් බඳනා ලද මස් පිඬ නො ගෙන) බන්‍ධනිර්‍දෙශයෙහි උපාදාය රූපයන් අතුරෙහි කී ආකාර ඇති චක්ඛුප්පසාද රූපය චක්ඛු ධාතුය යි ව්‍යවස්ථා කෙරේ.

 

එයට නිශ්‍ර‍ය වූ පඨවි-ආපො-තෙජො-වායො යන සතර මහාභූතයන් පිරිවර වූ වණ්ණ-ගන්ධ-රස-ඕජා යන සතර රූප ද, පරිපාලක වූ ජීවිතින්‍ද්‍රිය රූපයදැ යි මේ සහජාත රූප නවය ද, එහිම පිහිටි කාය දශකය ද, ඉත්‍ථිභාව - පුරිසභාව දශක අතුරින් එකක්දැ යි මේ විසි කර්‍මජ රූප ද, ආහාර-චිත්ත-උතු යන ත්‍රිවිධ සමුත්‍ථාන වශයෙන් ඔජට්ඨමක තුන බැගින් සූවිසි (24) අනුපාදින්නක (අකර්‍මජ) රූපදැ යි මෙසේ (චක්ඛුප්පසාද රූපය හැර) සෙසු තෙපනස් (9+20+24=53) රූප වේ. ඒ සියලු රූපය චක්ඛු ධාතුය යි ව්‍යවස්ථා නොකෙරේ. සෝත ධාතු ආදියෙහි ද මේ ක්‍ර‍මය මැයි.

 

කාය ධාතුවෙහි ඒ තෙපනසින් චක්ෂුර්‍දශකාදීන් හැර සෙසු තෙසාලිසක් (9+10+24=43) රූප වේ. ඇතැම් ආචාර්‍ය්‍ය කෙනේක සෘතු-චිත්ත සමුත්‍ථාන කලාප ශබ්දය සමග නවයක් - නවයක් කොට පන්සාලිසකැ (45) යි යෙති. මෙසේ මේ පඤ්චප්‍ර‍සාදයන් හා ඔවුනට ගෝචර වූ රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍ර‍ෂ්ටව්‍ය පසදැයි යන රූප දසය දස ධාතුහු වෙති. සෙසු සොළොස් (16) සුඛුම රූපයෝ ධම්ම ධාතු නම් වෙත්.

 

චක්ඛුප්පසාදය නිසා රූපය අරමුණු කොට පැවැති සිත චක්ඛුවිඤ්ඤාණ ධාතු නමැයි මෙසේ දෙපස් (10) විඤ්ඤාණය පඤ්ච විඤ්ඤාණ ධාතු නමි.

 

මනොධාතුත්‍ර‍යය එකම මනොධාතුව යැ. සෙසු අට සැටක් (68) සිත් මනොවිඤ්ඤාණ ධාතු නමි. මේ සියලු එක් අසූවක් (81) ලෞකික චිත්තයෝ සත්ත විඤ්ඤාණ ධාතු නම් වෙත්.

 

‘මේ එක් අසූවක් චිත්තයෙහි සම්ප්‍ර‍යුක්ත වූ ඵස්සාදි චෛතසිකයෝද ධර්‍ම ධාතු නම් වෙති’යි මෙසේ මෙහි චක්ෂුරාදි පස හා රූපාදි පසදැ යි සම්පූර්‍ණ රූප දසය හා ධර්‍මධාතුවට අයත් ධර්‍මයන් අතුරින් සොළොස් (16) සුඛුම රූපදැ යි යන අඩ එකොළොස් (11 1/2) ධාතුහු රූප නම් වෙති. (ධර්‍මධාතු සඞ්ඛ්‍යාත ධර්‍මාලම්බනයට අයත් දෙපනස් (50) චෛතසික හා නිර්‍වාණය නාම හෙයින් මෙහි නො ගැනේ.)

 

චක්ඛු - සොත - ඝාණ - ජිව්හා - කාය විඤ්ඤාණ ධාතු ය, මනො ධාතු ය, මනොවිඤ්ඤාණ ධාතු ය යන සත හා ධර්‍ම ධාතුවෙන් අඩක් වූ දෙපනස් (52) චෛතසික ය, නිර්‍වාණය යන මේ අඩකින් අටක් (7 1/2) වූ නාම ධාතුදැ යි මෙසේ අටළොස් (18) ධාතු වශයෙන් නාම-රූප විනිශ්චය කෙරේ.

 

(3) අනෙක් යෝගාවචරයේක ද්‍වාදශ (12) ආයතන වශයෙන් නාම-රූප විනිශ්චය කෙරේ.

 

ඒ මෙසේ යි:- චක්ඛු ධාතුවෙහි යට කී සේ තෙපනස් (53) රූප හැරපියා චක්ඛුප්පසාද මාත්‍ර‍ය ම චක්ඛායතනයැ යි ව්‍යවස්ථා කෙරේ. එහි කී නයින් ම සොත-ඝාණ-ජිව්හා-කාය ධාතුන් චක්ඛු-සොත-ඝාණ-ජිව්හා-කායායතන වශයෙන් ද, ඔවුනට විෂය වූ රූපාදිය රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍ර‍ෂ්ටව්‍යායතන වහයෙන් ද ව්‍යවස්ථා කෙරේ.

 

මෙසේ අර්ධ එකාදශ රූප රූපායතනයයැයි ද, ලෞකික සප්ත විඥාන ධාතු මනායනයැ යි ද ව්‍යවස්ථා කෙරේ.

 

ඒ සිත් හා සම්ප්‍ර‍යුක්ත ඵස්සාදි චෛතසික හා සෙසු සූක්ෂම රූප ද ධර්‍මායතනය යි ව්‍යවස්ථා කෙරේ.

 

මෙසේ අට එකොළොස් ආයතන රූපය යි ද, එකාර්‍ධ (1 1/2) ආයතනයෙක් නාමය යි මෙසේ ද්‍වාදශායතන වශයෙන් නාම රූප ව්‍යවස්ථා කෙරේ.

 

(4) අනෙක් යෝගියෙක් එයිනුදු සංක්‍ෂෙප කොට ස්කන්ධ වශයෙන් මෙනෙහි කෙරේ.

 

ඒ මෙසේයි :- මේ ශාසනයෙහි භික්ෂුතෙමේ මේ සිරුරෙහි කර්‍මාදි සතරින් හටගත් පෘථිවි ආදි සතර ධාතු යැ, ඒ ධාතු නිශ්‍රිත වර්‍ණ - ගන්ධ - රස - ඔජා යන සතර යැ චක්ෂුඃප්‍ර‍සාදා දි පඤ්චප්‍ර‍සාද යැ, හෘදයවස්තු රූප යැ, භාව රූප (2) යැ, ජීවිතින්‍ද්‍රිය රූප යැ චිත්ත - සෘතු දෙකින් නිපන් ශබ්දය දැයි මේ සතළොස් (17) රූපයෝ අනිත්‍යාදි වශයෙන් බැලීමට සුදුසු වූවාහූ කර්‍මාදි සතරින් නිපන්නාහු රුප්පන ස්වභාවයෙන් යුක්ත හෙයින් රූප-රූප නම් වෙති. කාය විඥප්තිය, වාග් විඥප්තිය, ආකාස ධාතුය, රූපයාගේ ලහුතා-මුදුතා-කම්මඤ්ඤතා යැ උපචය-සන්තති-ජරතා-අනිච්චතා යැ යන මේ දස රූපයෝ අනිත්‍යාදි වශයෙන් බැලීමට සුදුසු නොවෙති. රූපයන් ගේ ආකාර-විකාර හා අතර පිරසිඳීම් මාත්‍ර‍ය වූ හෙයින් නිෂ්පන්න රූපයෝ ද නොවෙති. රූප්පන ලක්ෂණ යුක්ත නො වූයෙන් රූප-රූපයෝ ද නො වෙත්. එතෙකුදු වුවත් රූපයන් ගේ ආකාර විකාර හා රූපාන්තර පරිච්ඡෙද මාත්‍ර‍ හෙයින් රූපයැ යි ගණයට යෙති යි මෙසේ මේ සත්විසි (27) රූපය රූපස්කන්ධ යැ, පෙර කී එක් අසූවක් (81) ලෞකික සිත් හා සම්ප්‍ර‍යුක්ත වෙදනාව වෙදනා ස්කන්ධ යැ, ඒ හා සම්ප්‍ර‍යුක්ත සංඥාව සංඥා ස්කන්ධයැ, සෙසු ඵස්සාදි චෛතසික සංස්කාර ස්කන්ධ යැ, චිත්තය විඥාන ස්කන්ධය යි. මෙසේ රූපස්කන්ධය රූප යැ, සතර අරූපස්කන්ධ නාමයැ යි පඤ්චස්කන්ධ මුඛයෙන් නාම-රූප ව්‍යවස්ථා කෙරේ.

 

විශේෂ:- මෙහි ආකාර ග්‍ර‍හණයෙන් විඥප්ති ද්‍වය හා උපචයාදි ලක්ෂණ සතර ද, විකාර ග්‍ර‍හණයෙන් ලුහුතාදි ත්‍ර‍ය ද, පරිච්ඡෙද ග්‍ර‍හණයෙන් ආකාස ධාතුවදැ යි මේ අනිෂ්පන්න රූප දසය (10) මෙහි අනිත්‍යාදි වශයෙන් විදර්‍ශනාවට නො නැගේ. එහෙත් මෙකී ලක්ෂණ මාත්‍රයෙන් රූපය යි කී, (යනු ටීකා මතයි)

 

(5) අනෙකක් මෙහි රුප්පන ලක්ෂණයෙන් යුත් සියලු පඨවි ආදි සතරමහාභූතරූප ද, ඒ ඇසුරු කොට පවත්නා සෙසු උපාදා සූවිස්සදැ (24) යි මෙසේ මේ අත්බැව්හි රූපය සැකෙවින් ඉගෙන, එසේම මනායතනය ද, ධර්‍මායතනයෙහි එකදෙශයක් වූ දෙපනස් (52) චෛතසික ද, නිර්‍වාණය ද නාමයැ යි ඉගෙන මේ නාමය ද, මේ රූපය ද නාම-රූපයැ යි කියා සැකෙවින් නාම-රූප ව්‍යවස්ථා කෙරේ.

 

සුඤ්ඤතාදි ඒ ඒ විමොක්ඛ මුඛයෙන් රූප පරිග්‍ර‍හ කොට අරූප පරිග්‍ර‍හ කරන ඒ යෝගීහට ඉතා සියුම් හෙයින් අරූපය මනාව නොවැටහේ නම් එයින් වීර්‍ය්‍යය බැහැර නො කොට රූපය ම නැවැතැ-නැවැතත් මෙනෙහි කළයුතු. නුවණින් විමසිය යුතු, පිරිසිඳ දතයුතු, විනිශ්චය කළ යුතුයි.

 

ඒ මෙසේයි :- යම්-යම් පරිද්දෙකින් ඒ යෝගීහට රූපය විශුද්ධවැ නිරවුල්වැ පිරිසිදුවැ වැටහේ නම් ඒ-ඒ පරිද්දෙන් ඒ රූපය අරමුණු කොට පවත්නා අරූප (නාම) ධර්‍මයෝ තුමූ ම ප්‍ර‍කට වෙති.

 

නිදර්‍ශන:- කැටපතකින් මුහුණ බලන ඇස් ඇතියකු එය අපිරිසිදු හෙයින් මුහුණ නො පෙනේ නම් එය බැහැර නො දමා නැවැතැ නැවැතැ පිරිසිදු කොට මුහුණ බලන කල පිරිසිදු හෙයින් මුඛ නිමිත්ත තෙමේ ම ප්‍ර‍කට වේ.

 

තවද:- තල තෙල් කැමැතියකු තල පිටි භාජනයක බහා දිය ඉස වරක් දෙකක් මිරිකී මෙන් තෙල් නොලැබුණු පමණින් එය ඉවත නො දමා නැවැත-නැවැත ද, උනු දිය ඉස මඩින කල ඔහුට තෙල් ලැබේ.

 

ජලය පිරිසිදු කරනු කැමැතියකු ඉඟිනි ඇට ගෙන කළය තුළ අත බහා වරක් දෙකක් ගැටූ පමණින් දිය පහන් නො වූවද, ඉඟිනි ඇට බැහැර නො කොට නැවැතැ-නැවැතැ ගටන කල තුනී මඩ යට ගැසී ජලය මනාව පැහැදීමෙන් ඔහුට පිරිසිදු ජලය ලැබෙයි. එසේම ඒ භික්ෂුව විසින් ධුරනික්‍ෂෙප නො කොට රූපය ම නැවැතැ - නැවැතැ සන්මර්‍ශනය කටයුතු ය. මෙනෙහි කළ යුතු ය. පරිග්‍ර‍හ කළ යුතුය. විනිශ්චය කළ යුතු යි. ඕහට යම් යම් පරිද්දෙකින් මනාව ප්‍ර‍සන්නවැ නිරවුල්ව පිරිසිදුවැ වැටහේ නම් ඒ ඒ පරිද්දෙන් මඩ මතුයෙහි ජලය පිරිසිදු වන්නා සේ ඒ අරූප ධර්‍ම සන්මර්‍ශනය කරන්නා වූ ඥානයට ප්‍ර‍තිපක්‍ෂ වූ ක්ලේශයෝ යටට බසිත්. සිත ප්‍ර‍සන්න වේ. ඒ රූප ධර්‍මයන් අරමුණු කොට ඇති අරූප ධර්‍මයෝ තුමූ ම ප්‍ර‍කට වෙත්.

 

මෙසේ අන්‍ය වූ ද උක්-සොර-ගෙරි - දී - මස් යන උපමාවන්ගෙන් ද, මේ අර්‍ථය ප්‍ර‍කාශ කළ යුතුය.

 

උක්පැණි ලබනු කැමැත්තා යන්ත්‍රයෙහි උක් බහා වරක් දෙකක් යන්ත්‍ර‍ය කරකැවීමෙන් නො නැවතී පැණි ලැබෙනතාක් නැවැතැ-නැවැතැ කරකවන්නාක් මෙන් ද,

 

බඩු පැහැර ගත් සොරකු ගෙන, වරකින් දෙකකින් තතු දත නො හැකි වූ පමණින් නො හැර නැවැතැ-නැවැතැ පෙළා තතු දැනගන්නාක් මෙන් ද,

 

වල් හරකකු දමනය කරන්නා රියෙහි බැඳ වරකින් දෙකකින් නො නැවතී නැවැතැ-නැවැතැ උත්සාහ කොට දමනය කරන්නාක් මෙන් ද,

 

වෙඬරු නිපදවන්නකු මෝරු බඳුනෙහි බහා වරකින් දෙකකින් නො නැවතී නැවැතැ-නැවැතැ පෙළන්නාක් මෙන් ද,

 

මාලු පිස බුදිනු කැමැත්තකු වරක් දෙකක් ගිනි දල්වා නො නැවැතී පැසෙන තුරු නැවැතැ-නැවැතැ ගිනි දල්වන්නාක් මෙන් ද, පෙර කී සේ රූප පරිග්‍ර‍හ කළයුතු.

 

මෙසේ සුවිශුද්ධ රූප පරිග්‍ර‍හය ඇති ඒ යෝගාවචරයා හට අරූප ධර්‍මයෝ සපර්‍ශ වශයෙන් හෝ වේදනා වශයෙන් හෝ විඥාන වශයෙන් හෝ වැටහෙත්.

 

ඒ මෙසේ යි:- ‘පෘථිවි ධාතුව කැකුළු බව ලක්ෂණ කොට ඇත්තේ යැ, යනාදී ක්‍ර‍මයෙන් ධාතුන් පරිග්‍ර‍හය කරන්නා වූ ඇතැම් යෝගියකුට ස්පර්‍ශය පළමු කොට අරමුණු වේ. ඒ ස්පර්ශ සම්ප්‍ර‍යුක්ත වේදනාව වේදනා ස්කන්ධයැ. සංඥාව සංඥා ස්කන්ධය යැ, ඵස්ස හා චේතනා සංස්කාර ස්කන්ධ යැ, සිත විඥාන ස්කන්ධයැ යි වැටහේ.

 

එසේම ‘කේශයෙහි කැකුළු බව පඨවි ධාතු යැ. -පෙ- ආශ්වාස-ප්‍ර‍ශ්වාස දෙක්හි පඨවි ධාතුව කැකුළු බව ලකුණු කොට ඇතැයි’ යන අරමුණෙහි පළමුව හෙන ස්පර්ශ යැ. ඒ හා යෙදුණු වේදනාව වේදනා ස්කන්ධ යැ. -පෙ- සිත විඥාන ස්කන්ධයැ යි වැටහේ. මෙසේ අරූප ධර්‍මයෝ ස්පර්‍ශ වශයෙන් වැටහෙත්.

 

එකක් හට පෘථිවි ධාතුව කර්‍කශ ලක්ෂණය ඇත්තේ ය. ඒ පෘථිවි ධාතු අරමුණෙහි රස අනුභව කරන වේදනාව වේදනා ස්කන්ධ යැ. ඒ හා යෙදෙන සංඥාව සංඥා ස්කන්ධ යැ. ඒ හා යෙදෙන ස්පර්ශය ද, චේතනාව ද, සංස්කාර ස්කන්ධ යැ. ඒ හා යෙදුණු සිත විඥාන ස්කන්ධයැ යි වැටහේ.

 

එසේම කේශයෙහි පඨවි ධාතුව කැකුළු බව ලකුණු කොට ඇත්තේ ය. -පෙ- ආශ්වාස-ප්‍ර‍ශ්වාසයෙහි පඨවි ධාතුව කැකුළු බව ලකුණු කොට ඇත්තේ ය. ඒ අරමුණු කොට පව්තනා රසානුභව කරන වේදනාව වේදනා ස්කන්ධ යැ. -පෙ- තත් සම්ප්‍ර‍යුක්ත චිත්තය විඥාන ස්කන්ධයැ යි වැටහේ. මෙසේ වේදනා වශයෙන් අරූප ධර්‍මයෝ වැටහෙත්.

 

අනෙක් හට “පෘථිවි ධාතුව කර්‍කශ ලක්ෂණය ඇත්තේ ය’යි අරමුණු දැනගන්නා විඥානය විඥාන ස්කන්ධ යැ. ඒ හා සම්ප්‍ර‍යුක්ත වේදනාව වේදනා ස්කන්ධ යැ. සංඥාව සංඥා ස්කන්ධ යැ. ඵස්සය ද, චේතනාව ද, සංස්කාර ස්කන්ධයැ යි වැටහේ.

 

එසේම ‘කේශයෙහි පඨවි ධාතුව කර්‍කශ ලක්ෂණය -පෙ- ආශ්වාස-ප්‍ර‍ශ්වාසයෙහි පෘථිවි ධාතුව කර්‍කශ ලක්ෂණයැ යි අරමුණ දැනගන්නා විඥානය විඥාන ස්කන්ධ යැ. ඒ හා සම්ප්‍ර‍යුක්ත වේදනාව වේදනා ස්කන්ධ යැ. සංඥාව සංඥා ස්කන්ධයැ. ස්පර්ශය ද, චේතනාව ද සංස්කාර ස්කන්‍ධය යි වැටහේ. මෙසේ විඥාන වශයෙන් අරූප ධර්‍මයෝ වැටහෙති. මේ උපායයෙන් ම ‘කර්‍මයෙන් හටගන්නා කෙස්හි පෘථිවි ධාතුව කර්‍කශ ලක්ෂණ යැ. යනාදි ක්‍ර‍මයෙන් දෙසාලිස් (42) ධාතු කොටස්හි සතර - සතර ධාතු වශයෙන් සෙසු චක්ඛු ධාතු ආදී රූප පරිග්‍ර‍හ මුඛයන්හි සියලු නය භෙදය අනුව ගොස් අර්‍ථ යොජනා කළ යුතු ය.

 

මෙසේ සුපරිශුද්ධ රූප පරිග්‍ර‍හ ඇත්තා වූ ම ඒ යෝගී හට අරූප (නාම) ධර්‍මයන් (ඵස්ස-වෙදනා-විඤ්ඤාණ යන) තුන් ආකාරයෙන් ප්‍ර‍කට වන හෙයින් ම සුපරිශුද්ධ රූප පරිග්‍ර‍හ ඇත්තහු විසින් ම අරූප (නාම) පරිග්‍ර‍හය පිණිස යොග කටයුතු යි. එසේ නැත්තකු විසින් නො කට යුතුයි.

 

විශේෂ :- රූප ධර්‍ම එකක් හෝ දෙකක් එළඹැ සිටි කලැ රූපය හැර අරූප පරිග්‍ර‍හය ආරම්භ කෙරේ නම් කමටහනින් පිරිහේ. පඨවි කසින භාවනාවෙහි කී, මගතොට නුපුරුදු පර්‍වතයෙහි වැසි දෙනක මෙනි. එහෙත් සුපරිශුද්ධ රූප පරිග්‍ර‍හ ඇතිව අරූප පරිග්‍ර‍හය පිණිස උත්සාහ වඩන යෝගියාහට කර්‍මස්ථාන වැඩීමට ද, විශේෂ වැඩීමට ද, මහත් බවට ද පැමිණේ. ඒ යෝගාවචර තෙමේ මෙසේ ඵස්සාදීන් ගේ වශයෙන් එළඹ සිටි සතර අරූපස්කන්ධ නාමය යි ද, ඔවුන්ට අරමුණු වූ සතර මහාභූත හා සතර මහාභූත නිසා පවත්නා සූවිසි (24) උපාදාය රූප රූපයයි ද විනිශ්චය කරයි.

 

මෙසේ අටළොස් (18) ධාතු යැ දොළොස් (12) ආයතන යැ පඤ්ච (5) ස්කන්‍ධ යැ යන සියලු ත්‍රෛභූමක ධර්‍ම කඩුවකින් සමුගුවක් විවෘත කරන්නකු මෙන් ද යමක (දෙබෑ) තල්කඳක් පළන්නකු මෙන් ද නාමය ද, රූපය ද, දෙපරිද්දෙකින් නියම කෙරේ. නාම-රූප මාත්‍රයෙන් මත්තෙහි අන්‍ය වූ සත්ත්‍වයෙක් හෝ  පුද්ගලයෙක් හෝ දෙවියෙක් හෝ බ්‍ර‍හ්මයෙක් හෝ නැතැයි, නිෂ්ඨාවට පැමිණේ.

 

ඒ යෝගී තෙමේ මෙසේ යථාස්වභාව (ඇතිසැටිය) වශයෙන් නාම-රූප නියම කොට මනාසේ සත්ත්‍ව යැ, පුද්ගල යැ යන මුළාව දුරු කරනු පිණිස, නුමුළා බව්හි සිත පිහිටුවීම පිණිස බොහෝ සූත්‍රාන්ත වශයෙන් ‘මේ ධර්‍ම ස්වභාවය නාම-රූප මාත්‍ර‍-යක් ම වේ.’ ‘සත්ත්‍වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැත්තේය’යි මේ අර්‍ථය සංසන්‍දනය කොට විනිශ්චය කෙරේ.

 

එයින් කිය

 

“යථාපි අඞ්ග සම්භාරා - හොති සද්දො රථො ඉති

එවං ඛන්‍ධෙසු සන්තෙසු - හොති සත්තොති සම්මුති”

 

“අව-යව රැස නිසා - රයයැ යි සදක් වන සේ

රෑ ඈ කඳු ඇති බැවින් - සතොකැ යි වහර පවතී”

 

තවද “සෙය්‍යථාපි ආවුසො කඨං ච පටිච්ච වල්ලිං ච පටිච්ච මත්තිකඤ්ච පටිච්ච තිණං ච පටිච්ච ආකාසො පරිවාරිතො අගාරනෙත්‍වව සඞ්ඛං ගච්ඡති එවමෙව ඛො ආවුසො අඨිං ච නහාරුං ච පටිච්ච මංසඤ්ච පටිච්ච චම්මං ච පටිච්ච ආකාසො පරිවාරිතො රූපන්ත්‍වෙව සඞ්ඛාරං ගච්ඡති[737]

 

‘ඇවැත්න! කෘෂ්ඨය නිසා ද, වැල් නිසා ද, මැටි නිසා ද, තණ නිසා ද, අහස පරිවරන ල්දදේ ගේයැ යි ව්‍යවහාර වන්නා සේ ඇට නිසා ද, නහර නිසා ද, මස් නිසා ද, සම නිසා ද, අහස පිරිවරන ලද්දේ ශරීරය මැ යැයි ව්‍යවහාරයට යේ. අනෙකකුදු කියන ලදී.

 

“දුක්ඛමෙව හි සම්හොති - දුක්ඛං තිඨති චෙති ච

නාඤ්ඤත්‍ර‍ දුක්ඛා සම්හොති - නාඤ්ඤත්‍ර‍ දුක්ඛ නිරුජ්ඣති”

 

“ලොව දුක ම උපදී, - දුකම පවතී, වැනැසේ,

දුකින් පිට අනු කිසිවක් - නූපදනේ, නො වැනැසේ”

 

මෙසේ නොයෙක් සිය ගණන් සූත්‍රාන්තයෙන් නාම-රූපම දක්වන ලදී. සත්ත්‍වයෙක් පුද්ගලයෙක් නො දක්වන ලදී. යම්සේ අකුරු - සක් - මැදිරි - රිය ඉස් ආදි අවයව සමූහය එක් ආකාරයෙකින් සිටි කල රථය යන ව්‍යවහාර මාත්‍ර‍ය වේ ද පරමාර්‍ථ වශයෙන් එක් එක් අවයවයක් පිරික්සන කල්හි රථයෙක් නම් නැත්තේ ද දැව ආදී ගෘහෝපකරණ එක් ආකාරයකින් අහස පුරා සිටි කලැ ගෙයැ යි ව්‍යවහාර මාත්‍රයෙක් වේද පරමාර්‍ථ වශයෙන් ගෙයෙක් නම් නැත්තේ ද

 

යම් සේ ඇඟිලි - මහපට ඇඟිලි ආදිය එක් ආකාරයකින් සිටි කල මිට යන ව්‍යවහාර මාත්‍ර‍ය වන්නේ ද, දෙණ - තත් ආදියෙහි වීණා යන ව්‍යවහාරය ද, ඇත්-අස් ආදීන්හි සේනා යන ව්‍යවහාරය ද, පවුරු-ගේ-දොරටු ආදියෙහි නුවර යන ව්‍යවහාරය ද, කඳ-අතු-කොළ ආදිය එක් අයුරකින් සිටි කල රුක යන ව්‍යවහාරය ද යම්සේ වේ ද පරමාර්‍ථ වශයෙන් එකී මිට ආදි බැවහට නො වේ ද එසේම පඤ්චොපාදාන ස්කන්‍ධයන් ඇති කල්හි සත්ත්‍ව යැ, පුද්ගල යැ යන ව්‍යවහාර මාත්‍ර‍ය වේ. පරමාර්‍ථ වශයෙන් රූපාදී එක - එක ධර්‍මයක් පිරික්සන කළ අස්මි යන මානය ද, අහං (මම) යන ආත්ම වාදය ද ගැනීමට වස්තු වූ කිසි සත්ත්‍වයෙක් නැති. හුදෙක් පරමාර්‍ථ වශයෙන් නාම - රූප මාත්‍රයෙක් ම ඇත්තේයැ යි මෙසේ නුවණින් බලන්නහුගේ දැකීම යථාභූත දර්‍ශන (ඇති සැටි දැකීම) නම් වේ. යමෙක් වනාහි මේ යථාභූත දර්‍ශනය හැරපියා සත්ත්‍වයෙක් ඇතැයි ගනී නම් හෙතෙමේ ඒ ‘සත්ත්වයා ගේ විනාශය හෝ ‘භවයෙන් භවයට යන්නේ යැ’ යන අවිනාශය හෝ අනුදන්නේ යි. අවිනාශය අනුදන්නේ ශාශ්වත දෘෂ්ටියෙහි වැටේ. විනාශය අනුදන්නේ උච්ඡෙද දෘෂ්ටියෙහි වැටේ.

 

කවර හෙයිනයත්:- කිරි මැ දියැ යි ද, කිරි අනිකෙක දී අනිකෙකැයි ද, නො ගෙන කිරෙහි පරපුර වූ දියෙහි මෙන් ඒ ආත්මයා ගේ පරපුරෙහි වූ අනෙක් ආත්ම භාවයක් නැති හෙයිනි. සත්ත්වයි ශාශ්වතයැ යි ගන්නා හෙතෙම් භවයෙහි නිලීන වේ. සත්ත්‍වයා උච්ඡෙද වේ යැ යි ගන්නේ අතිධාවනය කෙරේ. (යුක්තිය ඉක් ම යේ.)

 

එයින් වදාළහ.

 

ද්‍වීහි භික්ඛවෙ දිඨගතෙහි පරියුඨිතා දෙවමනුස්සා ඔලීයන්ති එකෙ. අතිධාවන්ති එකෙ චක්ඛුමන්තොව පස්සන්තී. කථඤ්ච භික්ඛවේ ඔලීයන්ති එකෙ. භවරාමා භික්ඛවේ දෙවමනුස්සා භවරතා භවසම්මූදීතා. තෙසං භවනිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං න පක්ඛන්‍දති. නප්පසීදති. නසන්තිඪති. නාධිමුච්චති. එවං ඛො භික්ඛවේ ඔලීයන්ති එකෙ. කථඤ්ච භික්ඛවේ අතිධාවන්ති එකෙ. භවෙනෙව ඛො පනෙකෙ අට්ටීයමානා හරායමානා ජිගුච්ඡමානා විභවං අභිනන්දන්ති. යතො කිර හො අයං අත්තා කායස්ස බෙදා උච්ජිජ්ජති. විනස්සති. න හොති පරම්මරණා එතං සන්තං එතං පණීතං එතං යථාවන්තී. එවං ඛො භික්ඛවේ අතිධාවන්ති එකෙ. කථඤ්ච භික්ඛවේ චක්‍ඛු මන්තො පස්සන්තී, ඉධ භික්ඛ වේ භික්ඛු භූතං භූතතො පස්සති භූතං භූතතො දීස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්තො හොති. එවං ඛො භික්ඛවෙ චක්ඛුමන්තො පස්සන්තී[738]

 

‘මහණෙනි! ශාශ්වත - උච්ඡෙද යන දෘෂ්ටි දෙකින් මැඩුණු දෙව් මිනිසුන් අතුරින් සමහරෙක් ශාශ්වත වශයෙන් භවයෙහි නිලීන වෙති. සමහරෙක් උච්ඡෙද වශයෙන් අතිධාවනය කෙරෙත්. ඇති තතු පිරිසිඳ දන්නා නුවණැස් ඇත්තේ පරමාර්‍ථ සත්‍යය දකී.

 

‘මහණෙනි! ඇතැමෙක් කෙසේ නිලීන වෙත් ද ඇතැමෙක් කෙසේ අතිධාවනය කෙරෙත් ද මහණෙනි! ඇතැම් දෙව් මිනිස් කෙනෙක් භවයෙහි ඇලුනාහු භවයෙහි සතුටු වූවාහු වෙති. ඔවුනට භවය නැති කිරීම පිණිස ධර්‍ම දේශනා කරන කල්හි සිත එහි නො පිවිසේ. නො පැහැදේ. නො පිහිට යි. නිශ්චයට නො පැමිණේ! මහණෙනි! මෙසේ ඇතැම් දෙව් මිනිස්සු භවයෙහි ඇලෙති.

 

‘මහණෙනි! ඇතැම් දෙව් මිනිස් කෙනෙක් උච්ඡෙද වශයෙන් කෙසේ අතිධාවනය කෙරෙත් ද ඇතැම් කෙනෙක් භවයෙන් ම පීඩිත වන්නාහු ගර්‍හාවට පැමිණියාහු පිළිකුළට පැමිණියාහු විභව සඞ්ඛ්‍යාත උච්ඡේදය කැමැති වෙති.  යම් හෙයකින් මේ ආත්මය කාබුන් මරණින් පසු උච්ඡේදය වේ ද විනාශ වේ ද මරණින් මතු නො වේ ද මේ විභවය ශාන්ත යැ, ප්‍ර‍ණීත යැ, ඇති ස්වභාවයැ යි මෙසේ උච්ඡේදය පිළිගනිති. මහණෙනි! මෙසේ ඇතැම් කෙනෙක් උච්ඡේද වශයෙන් අතිධාවනය කෙරෙති.

 

මහණෙනි! නුවණැස් ඇත්තෝ ම කෙසේ දකිත් ද මහණෙනි! මේ ශාසනයෙහි භික්‍ෂුතෙමේ පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධය සේ දකී. පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධය සේ දැක භුත සඞ්ඛාක පඤ්චස්කන්ධයේ කලකිරීම පිණිස නො ඇලීම පිණිස නිරොධය පිණිස පිළිපන්නේ වේ මහණෙනි! මෙසේ ඇස් ඇත්තෝ දකිත් යම්සේ දාරුයන්ත්‍ර‍ය ශුන්‍ය වූයේ නිර්ජීව වූයේ උත්සාහ නැත්තේ වේ ද එතකුදු වුවත් දැව යැ රැහැන් යැ යන මේවා එකතු වීමෙන් යන්නේ වේ ද සිටින්නේ වේ ද උත්සාහ ඇත්තක්හු සේ ව්‍යාපාර ඇත්තක්හු සේ වැටහේ ද එසේ මේ නාම-රූප දෙක ද සිස් වූයේ ජීවයක් නැත්තේ උත්සාහ නැත්තේ වේ. එතෙකුදු වුවත් ඔවුනොවුන් එකීභාවයෙන් යන්නේ ද සිටින්නේ ද වේ. වෙෂ්ටා සහිත ව්‍යාපාර සහිත වූවක් මෙන් වැටහෙන්නේ ද වේ.

 

විශෙෂ:- පඤ්චස්කන්ධය තමා පිළිබඳ ප්‍ර‍ත්‍යයයෙන් නිපන් බැවින් හා  පරමාර්‍ථ වශයෙන් විද්‍යාමාන හෙයින් ද භූත නම් වේ. ඇති ස්වභාවයෙන් හෝ ස්වලක්‍ෂණයෙන් හෝ සාමාන්‍ය ලක්‍ෂණයෙන් හෝ විද්‍යාමානය යන අර්‍ථ යි. ‘අවිද්‍යා ප්‍ර‍ත්‍යයයෙන් සංස්කාර වේ’ යනාදි තත් ස්වභාවයෙන් හෝ විද්‍යමාන වේ යනු ද අර්‍ථයෙකි. එයින් කීහ පැරැණියෝ -

 

“නාමඤ්ච රූපඤ්ච ඉධත්‍ථි සච්චතො

න හෙත්‍ථ සත්තො මනුජො ච විජ්ජති

සුඤ්ඤ ඉදං යන්ත මිවාභිසඞ්ඛටං

දුක්ඛස්ස පූඤ්ජො තිණකඨ සාදිසො”

 

“නම්-රූ මැයි පරමත් ලෙස ඇත්තේ

දෙව්-මිනිසා’දී සතෙක් මෙහි නැත්තේ,

දුක් පිඩ මැයි මෙය ලී-තණ වැන්නේ

සුන් යැ එයින් සැකැසු*[739] යතුරක් සේ+

 

හුදෙක් මේ නාම-රූප දෙක දාරු යන්ත්‍ර‍ උපමාවෙන් පමණක් නොවැ අන්‍ය වූ ද නළ කලාපාදි උපමාවන්ගෙනු දු පළ කළ යුතු ය.

 

එ මෙසේ යි:- බට මිටි දෙකක් එකිනෙක නිසා පවත්නා කල එකක පැවැත්මට එකක් වහල් වේ. එකක් වැටෙන කල දෙක ම වැටේ. එසේ ම පඤ්චවොකාර භවයෙහි නාම-රූප දෙක උනුන් නිසා  පවතී. එකක් එකකට උපස්තම්භක වේ. මරණ වශයෙන් එකක් වැටෙන කල අනික ද වැටේ.

 

එයින් කීහ පැරැණියෝ -

“යමකං නාම-රූපඤ්ච - උභො අඤ්ඤොඤ්ඤ නිස්සීතා

එකස්මං භිජ්ජමානස්මිං - උභො භිජ්ජන්ති පච්චයා”

 

“දෙ බෑ නම් රූ දෙක - උනුන් ඇසිරි කරනේ

ඉනෙකක් බිඳුණු සඳ - බිඳේ පස වූ එ දෙක ම”

 

තවද දඬුයෙන් පහළ බෙරය නිසා සද්දය පව්තනා කල බෙරය අනිකෙක, සද්දය අනිකෙක, බෙරය හා ශබ්දය අමිශ්‍ර‍ යැ. බෙරය ශබ්දයෙන් ශූන්‍ය යැ. ශබ්දය ද බෙරයෙන් ශුන්‍ය යි.

 

එ පරිද්දෙන් ම වස්තු යැ, වාර යැ, ආලම්බන යැ යන රූපයන් නිසා නාම ධර්‍මයන් පවත්නා කළ රූපය අනෙකක. නාමය ද අනෙකෙක් මැයි. නාම-රූප දෙක උනුන් හා අමිශ්‍ර‍ යැ. නාමය රූපයෙන් ශුන්‍ය යැ. රූපය ද නාමයෙන් ශුන්‍ය යි. එහෙත් බෙරය නිසා පවත්නා ශබ්දය මෙන් රූපය නිසා නාමය පවතී.

 

එයින් කීහ.

 

න චක්‍ඛුතො ජායරෙ ඵස්සපඤ්චමා

න රූපතො නො ච උභින්නමන්තරා

හෙතුං පටිච්ච පභවන්ති සඞ්ඛතා

යථාපි සද්දො පහටාය භෙරියා

න සොතතො ජායරෙ ඵස්සපඤ්චමා

න සද්දනො නො ච උභින්නමන්තරා

 

-පෙ-

 

න ඝාණතො ජායරෙ ඵස්සපඤ්චමා

න ගන්‍ධතො නො ච උභින්තමන්තරා

-පෙ-

න ජිව්හතො ජායරෙ ඵස්සපඤ්චමා

න රසතො නො ච උභින්තමන්තරා

 

-පෙ-

 

න කායතො ජායරෙ ඵස්සපඤ්චමා

න ඵස්සතො නො ච උභින්නමන්තරා

-පෙ-

 

න වත්‍ථු රූපා පභවන්ති සඞ්ඛතා

නචා‘පි ධම්මායතනෙහි නිග්ගතා

හෙතුං පටිච්ච පභවන්ති සඞ්ඛතා

යථාපි සද්දො පහටාය භෙරියා

 

“ඇසින්* පහස් ඈ පස නූපදින්නේ

රුවින් ද ඒ දෙක් අතුරින් නො වේ මැ යි

නිසා ම හේ සංකත දම් උපද්දී

ගැසූ බෙරින් සද්දය සේ උපත්තා”

“කනින් පහස් ඈ පස*[740] නූපදින්නේ

සදින් ද ඒ දෙක් අතුරින් නො වේ මැ යි,

නිසාම හේ සංකත දම් උපද්දී

ගැසූ බෙරින් සද්දය සේ උපත්නා”

“නහෙන්+ පහස් ඈ පස නූපදින්නේ

ගඳින් ද ඒ දෙක් අතුරින් නො වේ මැ යි”

 

-පෙ-

 

‘දිවින් පහස් ඈ පස නූපදින්නේ

රෙසෙන් ද ඒ දෙක් අතුරින් නො වේ යැ යි’

 

-පෙ-

 

‘කයින් පහස් අසෘ පස නූපදින්නේ

නො වේ පහස්නෙන් එදෙකින් නො වේ මැ යි’

 

-පෙ-

 

‘නො වත්රුවින්** සංකත දම් උපද්දී

නො නික්මෙ දම් ආයතනෙන් ද ඒ දම්++

 

නිසා ම හේ සංකත දම් උපද්දී

ගැසූ බෙරින් සද්දය සේ උපත්නා’

 

තවද මේ නාම-රූප දෙකින් නාමය තෙද නැත්තේ යැ, තමා තෙදින් පැවැත්ත නො හේ. නො කයි. නො බොයි. නො බෙණේ. ඉරියව් නොපවත්වයි. රූපය ද තෙද නැත්තේ යැ. තමා තදින් පැවැත්ත නොහේ. ඒ රූපයට කනු කැමැති බවෙක් වැති. බොනු කැමැති බවෙක් නැති. බණනු කැමැති බවෙක් නැති. ඉරියවු පවත්වනු කැමැති බවෙක් නැති. නාමය නිසා රූපය පවතී. රූපය නිසා නාමය පවතී. නාමයට කනු කැමැති බවක් ද, බොනු කැමැති බවක් ද,  බණනු කැමති බවක් ද, ඉරියව් පවත්වනු කැමති බවක් ද, ඇති කල රූපය කයි, බොයි, බෙණෙයි, ඉරියව් පවත්ව යි.

 

මේ අර්‍ථය ප්‍ර‍කට කිරීමට මේ උපමාවක් එළවත්:- ජාත්‍යන්‍ධයෙක් ද, පිළෙක් ද ගමනක් යනු කැමැත්තාහු ජාත්‍යාන්‍ධයා යහළුව! ‘මට පයින් යා හැකි යැ. එහෙත් මාර්‍ගයෙහි සම විෂම බව් බැලීමට ඇස් නැත්තේයැ’ යි පිළාට කීයේ ය. පිළා ද යහළුව! ‘මම ඇසින් බැලිය  හැක්කෙමි. එහෙත් යාමට හා ඊමට පා නැත්තෙමි වෙමි’ යි අන්‍ධයාට කීය. ජාත්‍යන්‍ධයා තුටු පහටුවැ පිළා දසරුවෙහි තබා ගත. පිළා ද අන්‍ධයා ගේ උරහිස හිඳ වම හරුව, දකුණට යව, දකුණ හරුව, වමට යව’ යි කියයි. මෙහි ජාත්‍යන්‍ධයාද තෙද නැත්තේ යැ. දුබල යැ. තමා තෙදින් ද බලයෙන් ද නො යේ. පිළි ද තෙද නැත්තේ ද. දුබල ය. තමා තෙදින් ද, බෙලෙන් ද යා නො හැක්ක. ඔහු දෙදෙන උනුන් නිසා ගමන කෙරෙත්මැ යි.

 

එමෙන් ම නාමය ද තෙද නැත්තේ තමා තෙදින් නූපදී. ඒ ඒ ක්‍රියාවන්හි නො පවතී. රූපය ද තෙද නැත්තේ තමා තෙදින් නූපදී. තමා අයත් ඒ ඒ ක්‍රියාවන්හි නො පවතී.

 

එතෙකුදු වුවත් ඔවුන් උනුන් කියා උපැත්ම හෝ  පැවැත්ම නො වන්නේ නො වේ. උපදනේ ද පවත්නේ ද වේ.

 

එයින් කී,

“න සකෙන බලෙන ඡායරෙ

නො පි සකෙන බලෙන තිට්ඨරෙ

පරධම්මවසානුවත්තිනො

ජායරෙ සඞ්ඛතා අත්තදුබ්බලා

 

පරපච්චයතො ජායරෙ

පරආරම්මණතො සමුට්ඨිතා

ආරම්මණපච්චයෙහි ච

පරධම්මෙහිචිමෙ පභාවිතා

 

යථාපි නාවං නිස්සාය - මනුස්සා යන්තී අණ්ණවෙ

එවමෙව රූපං නිස්සාය - නාමකායො පවත්තති

 

යථා ච මනුස්සෙ නිස්සාය - නාවා ගච්ඡතිප අණ්ණවෙ

එවමෙව නාමං නිස්සාය - රූපකායො  පවත්තති

 

උභො නිස්සාය ගච්ඡන්ති - මනුස්සා නාවා ච අණ්ණවෙ

එවං නාමඤ්ච රූපඤ්ච උභො අඤ්ඤොඤ්ඤ නිස්සීතා”

 

තමා බෙලෙන් නම් රූ-නූපදින්නේ

තමා බෙලෙන් ඒ දම් නෑ සිටින්නේ

පරා අයත් දම් වසයෙන් පවත්නා

තෙමේ දුඹුල් සංකත දම් උපද්දී

 

අනෙක් දහම් හේ පසයෙන් උපද්දී

අනෙක් දහම් එල්බ නැඟී සිටින්නේ

තමා කෙරෙන් අන් දෙපසක්*[741] ලැබීමෙන්

පවත්තී මේ සංකත දම් උපද්නා

 

නැව නිසා මිනිසා - සමුදුර ගමන් යන සේ

රූ-කය පිහිට ලැබුමෙන් - නමුකය+ යෙහෙන් පවතී

මිනිසා නිසා නැව - සමුදුර එතෙර වන සේ

නමුකය පිහිට ලැබුමෙන් - රූ කය යෙහෙන් පවතී

 

මිනිසා - නැව උනුන් - ඇසිරින් මුහුද යන සේ

නම් -රූ දෙක උනුන් - ඇසිරින් යෙහෙන් පවතී.

 

මෙසේ නානා නයින් නාම-රූප විනිශ්චය කරන යොගීහු ගේ සත්ත්‍ව සංඥාව මැඩ නුමුළා බව්හි සිටි නාම-රූපයන් ගේ යථාවදර්‍ශනය (ඇති තතු දැනීම) දිට්ඨි විසුද්ධිය යි දතයුතු. නාම-රූප ව්‍යවස්ථානය යි ද, සංස්කාර පරිච්ඡෙදය යි ද මේ දෘෂ්ටි විශුද්‍ධියට ම නම් වේ.

 

හුදී ජනයන් ගේ ප්‍රමොද්‍යය පිණිස කළ විශුද්‍ධි මාර්‍ගයෙහි ප්‍ර‍ඥා භාවනාධිකාරයෙහි දිට්ඨි විශුද්ධි නිර්‍දෙශ නම් වූ අටළොස් වන පරිච්ඡේදය යි.


19 වන පරිච්ඡේදය

කඞ්ඛාවිතරණ විසුද්ධි නිර්දේශය

 

මේ නාම-රූපයන් ගේ ම ප්‍ර‍ත්‍යය පිරිසිඳීමෙන් තුන් කල්හි පැවැති සැක දුරු කර සිටි ඤාණය කඞ්ඛාවිතරණ විසුද්ධිය යි.”

 

එය ලබනු කැමැති භික්‍ෂු තෙමේ දක්‍ෂ වෛද්‍යවරයකු රෝගයක් දැක එහි නිදානය සොයන්නා සේ ද, අනුකම්පා ඇති පුරුෂයකු වීථියෙකැ වැටී හුන් ළදරුවකු දැක මේ කවරකු ගේ පුතෙක්දැ යි ඔහු ගේ මවුපියන් සොයන්නා සේ ද ඒ නාම රූපයන් ගේ හේතු-ප්‍ර‍ත්‍යය සෙවීමෙහි නියුක්ත වේ.

 

(1) හෙතෙමේ මුලදීම මෙසේ සලකයි:- ‘මේ නාම-රූප සියලු තන්හි සියලු කල්හි සියල්ලනට සමවැ නො පැමිණෙන හෙයින් අහේතුක නො වේ’ ‘නාම-රූප දෙකින් මත්තෙහි ඊශ්වරාදි මැවුම් කරුවකු නැති හෙයින් ඊශ්වරාදි හේතුවකිනුදු හට නො ගැනේ’ එහෙයින් ම මෙයට හේතු-ප්‍ර‍ත්‍යය ඇති මැනවැ. ඒ හේතු-ප්‍ර‍ත්‍යය කවරේදැ යි, කියා යි. හෙතෙමේ මෙසේ නාම-රූපයනට හේතු-ප්‍ර‍ත්‍යය සලකා පළමු කොට රූපකායයට මෙසේ හේතු-ප්‍ර‍ත්‍යය පරීක්‍ෂා කරයි.

 

මේ කය උපදනේ උපුල් පියුම්, හෙළපියුම්, හෙල්මැලි ආදීන් ගේ අභ්‍යන්තරයෙහි නූපදී. මුතු මැණික් ආකරයක හෝ නූපදී. වැලි ආමාශය (නො පැසුණු අහර බොක්ක) පක්‍වාශය (පැසුණු අහර බොක්ක) යන මොවුන් අතරෙහි උදර පටලයට පිටුවා පිට කටුව පෙරටු කොට අතුණු-අතුණුබහන් පිරිවරා තෙමේත් දුගඳ-ජුගුප්සා -පිළිකුල් වූයේ එසේ ම දුර්‍ගන්‍ධ-ජුගුප්සා-පිළිකුල් වූ අතිශයින් සම්බාධ වූ ස්ථානයෙහි කුණු මස් කුණු කුණප-කුණු කොමු - ගම්දොර ගවර වළ-අසුචි වළය යනාදි තැනෙකැ පණුවකු සේ උපදී.

 

එසේ උපදනහුට අවිද්‍යා යැ, තෘෂ්ණා යැ, උපාදාන යැ. කර්‍ම යැ, යන මොහු උපදවන හෙයින් හේතූහු වෙති. ආහාරය, උපස්තම්භක (උවටැන් කරන) හෙයින් ප්‍ර‍ත්‍යය වේ. මෙසේ මේ පඤ්ච ධර්‍ම හේතු-ප්‍ර‍ත්‍යය වේ. ඔවුනතුරිනුදු ‘අවිද්‍යා-තෘෂ්ණා-උපාදාන යන තුන ළදරුවකුට මව මෙන් මේ කයට උපනිශ්‍ර‍ය වේ. කර්‍මය පුතාට පියා මෙන් ජනක වේ. ආහාරය ළදරුවාට කිරිමව සේ සන්‍ධාරක (ධාරා සිටින්නේ) වේ’ ය යි මෙසේ රූපකායයට ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කොට නැවැත “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං[742] චක්‍ෂුඃප්‍ර‍සාදය ද, රූපාලම්බනය ද, නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී” යනාදි ක්‍ර‍මයෙන් නාම කායයට ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කෙරේ. මෙසේ ප්‍ර‍ත්‍යය වශයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍වෘත්තිය දැක මේ නාම-රූප දැන් සේ ම අතීතයෙහි ද හෙතු-ප්‍ර‍ත්‍යය නිසා  පැවැත්තේ ය. මත්තෙහිදු හේතු-ප්‍ර‍ත්‍යය නිසා පැවැත්තේ ය.  මත්තෙහිදු හේතු-ප්‍ර‍ත්‍යය නිසා පවත්නේය යි දකී. මෙසේ බලන්නා වූ ඒ යෝගාවචරයා ගේ පූර්‍වාන්ත සඞ්ඛාත අතීත ස්කන්ධ පඤ්චකය අරභයා “මම අතීත කාලයෙහි සිටියෙම්ද, නොසිටියෙම් ද, කවරෙක් වැ සිටියෙම් ද, කෙබන්දෙක් වැ සිටියෙම් ද, කවරෙක්වැ සිට කවරෙක් වූයෙම්දැ යි’ පස් ආකාරයෙකින් කියන ලද විචිකිච්ඡාව ද අපරාන්ත සඞ්ඛ්‍යාත අනාගතාධ්වය අරභවා අනාගත කාලයෙහි මම වන්නෙම් ද, නොවන්නෙම් ද, කවරෙක් වන්නෙම් ද කෙබන්දෙක් වන්නෙම් ද කවරෙක් වැ කවරෙක් වන්නෙම්දැ යි’ කියන ලද පස් ආකාර විචිකිච්ඡාව ද, දැන් වර්‍තමාන ස්කන්ධ පඤ්චකය අරභයා ‘මම වෙම් ද, මේ සත්ත්ව තෙමේ කොහි සිට මෙහි ආවේ ද, නැවැතැ කොහි යන්නේදැ යි’ මෙසේ සවැදෑරුම් විචිකිච්ඡාවදැ යි මේ කාලත්‍ර‍ය පිළිබඳ සොළොස් (16) ආකාර විචිකිච්ඡා ප්‍ර‍හීණ වේ.

 

(2) අනෙකෙක් නාමකායයට සාධාරණ - අසාධාරණ වශයෙන් දෙ ආකාර ප්‍ර‍ත්‍යය බලයි. රූපයට කර්‍මාදි වශයෙන් චතුර්විධ ප්‍ර‍ත්‍යය බලයි.

 

විස්තර :- නාමයට සාධාරණය, අසාධාරණයැ යි ප්‍ර‍ත්‍යය දෙකෙකි. චක්‍ෂුරාදි සදොර හා රූපාදි සාරමුණ ද නාමයට සාධාරණ ප්‍ර‍ත්‍ය යි.

 

‘කුශල-අකුශල - විපාක - ක්‍රියා භේදයෙන් සර්‍වප්‍ර‍කාර වූ නාමය චක්‍ෂුරාදි ද්වාරයෙන් රූපාදි සාරමුණෙහි පවත්නා හෙයිනි. මනසිකාරාදිය අසාධාරණ ප්‍ර‍ත්‍යය යි.

 

ඒ මෙසේ යි : යෝනිසො මනසිකාර - සද්ධර්‍මශ්‍ර‍වණාදිය කුශලයට ම අසාධාරණ ප්‍ර‍ත්‍යය යැ.

 

අයොනිසො මනසිකාර - අසද්ධර්‍මශ්‍ර‍වණාදිය එයට විපරීත වූයේ අකුශලයට අසාධාරණ ප්‍ර‍ත්‍යය යැ. කර්‍ම-අවිද්‍යා-ගති-කාලාදිය විපාකයට අසාධාරණ ප්‍ර‍ත්‍යය යැ. භවාඞ්ගාදිය ක්‍රියා චිත්තයට අසාධාරණ ප්‍ර‍ත්‍යය යි.

 

විශේෂ : කර්‍මය, කර්‍මනිමිත්තය, ගතිනිමිත්තය යන තුන චුති-ප්‍ර‍තිසන්ධි විපාකයට ප්‍ර‍ත්‍යය වේ. කාලාදිය යි කී ආදී ශබ්දයෙන් සත්පුරුෂ සේවනාදි චතුශ්චක්‍ර‍ක සම්පත්තීන් ගේ හෝ සංග්‍ර‍හය වේ. භවාඞ්ගය, පඤ්චද්‍වාරාවජ්ජන-මනොද්‍වාරාවජ්ජන දෙකට ද, සන්තීරණය වොත්‍ථපනයට ද, වොත්‍ථපනය ක්‍රියාවනට ද ප්‍ර‍ත්‍යය වේ. පරිත්ත ක්‍රියාවෝ යථායෝගයෙන් පරිත්ත මහද්ගත ක්‍රියාවනට ද ප්‍ර‍ත්‍යය වෙති. අර්‍හත්‍වය ආවර්‍ජන ද්‍වය වර්ජිත සියලු ක්‍රියාවනට ප්‍ර‍ත්‍යය වේ. (යනු ටීකා යි)

 

රූපයට කර්‍ම ය, චිත්ත යැ, සෘතු යැ, ආහාරයැ යි චතුර්විධ ප්‍ර‍ත්‍යය වේ. ඔවුනතුරින් ‘කර්‍මය අතීත වූයේ ම කර්‍මසමුත්‍ථාන රූපයට ප්‍ර‍ත්‍යය වේ. භෙද උත්පත්ති ක්‍ෂණයෙහි මැයි ‘සෘතු-ආහාර දෙදෙන සෘතුජ-ආහාරජ රූපයනට ස්ථිති ක්‍ෂණයෙහි ප්‍ර‍ත්‍යය වේ.’ ය යි මෙසේ ඇතැම් යෝගියෙක් නාම-රූපයනට ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කෙරේ. හෙතෙමේ මෙසේ ප්‍ර‍ත්‍යය වශයෙන් නාම-රූපයන් ගේ පැවැත්ම බලා ‘මේ නාම-රූප වර්‍තමානයෙහි  පවත්නා සේ අතීතයෙහි ද ප්‍ර‍ත්‍යය වශයෙන් පැවැත්තේ ය. අනාගතයෙහි ද ප්‍ර‍ත්‍යය වශයෙන් පවත්නේය’ යි නුවණින් බල යි. මෙසේ බලන ඒ යෝගීහට ත්‍රිකාලයෙහි ම කී පරිද්දෙන් විචිකිච්ඡාව ප්‍ර‍හීණ වේ.

 

(3) අනෙක් යෝගියෙක් මෙසේ නාම-රූප සඞ්ඛ්‍යාත සංස්කාරයන් ගේ ජරාවට පැමිණිම ද, ජරාවට පැමිණියවුන්ගේ භඞ්ගය ද දැක ‘මේ සංස්කාරයන් ගේ ජරා-මරණය උත්පත්තිය ඇති කල්හි වේ. ජාතිය කර්‍මභවය ඇති කල්හි ද, භවය උපාදානය ඇති කල්හි ද, උපාදානය තෘෂ්ණාව ඇති කල්හි ද, තෘෂ්ණාව වේදනාව ඇති කල්හි ද, වේදනාව ස්පර්‍ශය ඇති කල්හි ද, ස්පර්‍ශය ෂඩායතනය ඇති කල්හි ද, ෂඩායතනය නාම-රූප ඇති කල්හි ද, නාම-රූප විඥානය ඇති කල්හි ද, විඥානය සංස්කාර ඇති කල්හි ද, සංස්කාර අවිද්‍යාව ඇති කල්හි ද, වේය යි මෙසේ ප්‍ර‍තිලෝම පටිච්චසමුප්පාද වහයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍ත්‍යය නිශ්චය කෙරේ. එකල ඔහු ගේ විචිකිච්ඡාව කියන ලද පරිදි ප්‍ර‍හීණ වේ.

 

(4) අනෙක් යෝගියෙක් - මෙසේ “අවිද්‍යා ප්‍ර‍ත්‍යයේන සංස්කාර වේය” යි පෙර පටිච්චසමුප්පාද නිර්‍දෙශයෙහි විස්තර කළ සේ අනුලොම පටිච්චසමුප්පාද වශයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කෙරේ. එකල ඔහු ගේ කාංක්‍ෂාව ප්‍ර‍හීණ වේ.

 

(5) අනෙක් යෝගියෙක් පූර්‍ව කර්‍ම භවයෙහි මෝහය අවිද්‍යා යැ. කුශලා‘කුශල කර්‍ම රැස් කිරීම සංස්කාර යැ. පඤ්චකාමයෙහි ඇලීම් සඞ්ඛ්‍යාත නිකන්තිය තෘෂ්ණා යැ. දැඩිවැ ගැනීම උපාදාන යැ. අභිසංස්කරණ චේතනාව කර්‍මභවයැ යි, ‘මෙසේ පූර්‍ව කර්‍ම භවයෙහි මේ පඤ්ච ධර්‍මයෝ වර්‍තමාන ප්‍ර‍තිසන්ධියට ප්‍ර‍ත්‍යය වෙති. මේ (වර්‍තමාන) පතිසන්ධිය විඥානය, මවුකුසට වැදගැන් ම නැම-රූප ය, පඤ්චප්‍ර‍සාදය ආයතන ය. ආලම්බන ස්පර්‍ශය ඵස්ස යැ. විඳීම වේදනා යැ. මේ පඤ්චධර්‍මයෝ මේ වර්‍තමාන උත්පත්ති භවයෙහි පූර්‍වයෙහි කළ කර්‍මයාගේ ප්‍ර‍ත්‍යයයෙන් වෙති. මේ භවයෙහි චක්‍ෂුරාදි ආයතනයන් මිහිකිරීමට ගිය හෙයින් මොහය අවිද්‍යා යැ. පෙ - චේතනා කර්‍මභවයැ යි මේ පඤ්ච ධර්‍මයන් මේ කර්‍ම භවයෙහි මතු ප්‍රතිසන්ධි භවයට ප්‍ර‍ත්‍යය වෙති යි, මෙසේ කම්මවට්ට - විපාක - වට්ට වශයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කෙරේ. එහි කම්මවට්ට ය. දිඨධම්මවෙදනීය යැ, උපපජ්ජවෙදනීය යැ, අපරාපරිය වේදනීය යැ, අහොසි කර්‍මයැ විපාක දෙන කාල වශයෙන් සතර ආකාර යි.

 

විස්තර:- ඒ කර්‍ම අතුරින් එක් ජවන වීථියෙකැ ජවන් සිත් සතින් කුසල් හෝ අකුසල් හෝ ප්‍ර‍ථම ජවන චෙතනාව දිඨධම්ම වෙදනීය කර්‍මය යැ. එය මේ අත්බව්හි ම විපාක දේ. එසේ විපාකයට නො පැමිනියේ අහෝසි කර්‍ම වේ.

 

ඒ මෙසේ යි:- අහෝසි කම්මං නාහොසි කම්මවිපාකො. න භවිස්සති කම්ම විපාකො. නත්‍ථි කම්ම විපාකො”[743] කර්‍ම වී, කර්‍ම විපාක නො වී, මතු කර්‍ම විපාක නොවේ. දැන් කර්‍ම විපාක නැතැ යී’ මේ ත්‍රික වශයෙනි.

 

‘කුශලා‘කුශල වශයෙන් අර්ථ සිද්ධි කරන, සත් වැනි ජවන චේතනාව උපපජ්ජවෙදනීය කර්‍ම නමි. ඒ කර්‍ම අනතුරු (දෙවෙනි) අත් බව්හි පතිසන්ධි විපාකය දේ. එසේ නො පොහොනේ යට කී සේ අහොසි කර්‍ම වේ. මෙ දැතුරෙහි වූ ජවන චේතනා පස අපරාපරිය වෙදනීය කර්‍ම වේ. ඒ කර්‍ම අනාගතයෙහි අවකාශ ලද යම් තැනෙකැ විපාක දේ. සංසාර ප්‍ර‍වෘත්තිය ඇති තාක් ඒ අහොසි කර්‍ම නම් නො වේ.

 

තවද විපාක දෙන ක්‍ර‍ම වශයෙන් සිව්වැදෑරුම් කර්‍මයෙහි ඒ යග්ගරුක-යබ්බහුල-යදාසන්ත-කටත්තාකර්‍ම වශයෙන් එහි ගරුක-අගරුකයන් අතුරින් අකුශල පක්‍ෂයෙහි මාතෘඝාතකාදි ආනන්තර්‍ය්‍ය කර්‍මයක් හෝ කුශල පක්‍ෂයෙහි ප්‍ර‍ථම ධ්‍යානාදි මහද්ගත කර්‍මයක් හෝ වේ නම් ඒ ගරු කර්‍ම නමි. එය ප්‍ර‍ථම කොට විපාක දේ.

 

එසේ ම බහුල-අබහුල කර්‍මයන් අතුරින් යමක් බහුල වේ නම් එය පළමු කොට විපාක දේ.

 

මරණාසන්න කාලයෙහි කළ කර්‍මය ආසන්න කර්‍ම යි. (මරණාසන්නයෙහි සිහි කළ කර්‍මය හෝ යදාසන්ත ය.) ඒ මතු භවයෙහි පළමු කොට විපාක දේ.

 

මෙයින් අන්‍ය වූ නැවැතැ-නැවැතැ ලබන ලද ආසේවන ඇති කර්‍මය කටත්තා කර්‍මය යි. පෙර කී කර්‍මයන් නැති කල මේ විපාක දේ.

 

අනිකුදු ජනක යැ, උපස්තම්භක යැ, උපපීඩක යැ, උපඝාතකයැ යි කෘත්‍ය වශයෙන් චතුර්විධ කර්‍මයෙන් වේ. ඔවුනතුරින් ජනක කර්‍මය කුසල් ද වේ. අකුසල් ද වේ. එය ප්‍ර‍තිසන්ධියෙහි ද, ප්‍ර‍වෘත්තියෙහි ද රූප-අරූප විපාක උපදවයි.

 

උපස්තම්භක කර්‍මය විපාක ඉපදවිය නොහේ. අන්‍යකර්‍මයෙකින් උපන් සුව-දුක් විපාකයනට රුකුල් දීම් වශයෙන් උපස්තම්භක වේ. උපපීඩක කර්‍මය ද අන්‍ය කර්‍මයකින් උපන් විපාකය (සුව-දුක්) වැළැක්වීම් වශයෙන් පෙළයි. උපඝාතක කර්‍මය ද කුසල් ද අකුසල් ද වේ. එය අනිත් දුර්‍වල කර්‍මය නසා තමා ගේ විපාකයට අවකාශ කෙරේ. මසේ කර්‍මයෙන් අවකාශ කළ කල්හි එහි විපාක උපදනේ නම් වේ. මෙසේ මේ දොළොස් වැදෑරුම් කර්‍මයන් ගේ කර්‍ම භේදය හා විපාක භේදය ද බුදුවරයන්ගේ කර්‍මවිපාකඥානයට තතු සේ ප්‍ර‍කට වේ. එය ශ්‍රාවකයන් හා අසාධාරණ වේ.

 

(විදර්‍ශකයා විසින් කර්‍මාන්තරය ද, විපාකාන්තරය ද, ලේශ මාත්‍ර‍යකින්වත් දත යුතු ය. එහෙයින් මුඛමාත්‍ර‍යක් දැක්වීමෙන් මේ කර්‍ම-විපාක ප්‍ර‍කාශ කරන ලදී.)

 

මෙසේ මේ ද්‍වාදශවිධ කර්‍මය කර්‍ම වෘත්තතයෙහි බහා නාම-රූපයනට ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කෙරේ. හෙතෙමේ මෙසේ කම්මවට්ට විපාකවට්ට වශයෙන් ප්‍ර‍ත්‍යය හෙයින් නාම-රූපයන් ගේ පැවැත්ම බලා මේ දැන් පවත්නා සේ අතීතයෙහි කම්මවට්ට විපාකවට්ට පැවැත්තේ ය. අනාගතයෙහිදු කම්මවට්ට-විපාකවට්ට වශයෙන් ප්‍ර‍ත්‍යය විසින් පවත්නේ යි මෙසේ කර්‍මය ද, කර්‍මවිපාකය ද, කම්මට්ටය ද, විපාකවට්ටය ද, කර්‍ම ප්‍ර‍වෘත්තිය ද, විපාකප්‍ර‍වෘත්තිය ද, කර්මසන්තතිය ද, විපාක සන්තතිය ද, ක්‍රියා ද, ක්‍රියාඵල ද, වශයෙන්

 

“කම්මා විපාකා වත්තන්ති - විපාකො කම්මසම්භවො

තස්මා පුනබ්භවො හොති - එවං ලොකො පවත්තති”

 

“කැමින් විවා පවතී - විවා කැමින් උපදනේ

එයින් පුන බව වේ - මෙසේ සත් ලො පවතී” 

 

යැයි දකී. මෙසේ නුවණින් දක්නා ඒ යෝගී හට පූර්‍වාන්තාදිය නිසා පෙර කී සේ ‘මව් වීම්දැ’ යි යනාදි නයින් කියන ලද සොළොස් (16) වැදෑරුම් විචිකිච්ඡා ප්‍ර‍හීණ වේ.

 

‘සියලු භව-යොනි-ගති-ස්ථිති-සත්ත්‍වාවාසයන්හි හේතු-ඵල සම්බන්ධ වශයෙන් පවත්නේ නාම-රූප මාත්‍ර‍ය ම යැ’යි වැටහේ. ඒ යෝගාවචර තෙමේ හේතුවෙන් මත්තෙහි කාරණයක් නො දක්නේ විපාක පැවැත්මෙන් මත්තෙහි විපාක විඳින්නකු නො දකී. ‘කාරණය ඇති කල්හි කාරකය යි ද, විපාක ප්‍ර‍වෘත්තිය ඇති කල්හි ඵල විඳින්නේය, යි ද ව්‍යවහාර මාත්‍රයෙකින් පණ්ඩිතයන් ව්‍යවහාර කෙරෙති’ යි මෙසේ මේ යොගී තෙමේ මනා නුවණින් මොනවට දකී.

 

එයින් කීහ පැරැණියෝ :

“කම්මස්ස කාරකො නත්‍ථි - විපාකස්ස ච වෙදකො

සුද්ධධම්මා පවත්තන්ති - එවෙතං සම්මදස්සනං

 

එවං කම්මවිපාකෙච - වත්තමානෙ සහෙතුකෙ

බීජරුක්‍ඛාදිකානංච - පුබ්බාකොටි න දිස්සති

 

අනාගතෙපි සංසාරෙ-අප්පවත්තං න දිස්සති

එතමත්‍ථමනඤ්ඤාය - තිත්‍ථියා අසයං වසී

 

සත්ත සඤ්ඤං ගහෙත්‍වාන - සස්සතුඤච්ඡෙදදස්සීනො

ද්‍වාසට්ඨිදිට්ඨි ගණ්හන්ති - අඤ්ඤමඤ්ඤං විරොධිතා

 

දිට්ඨිබන්‍ධන බද්ධා තෙ - තණ්හාසොතෙන වුය්හරෙ

තණ්හාසොතෙන වුය්හන්තා - න තෙ දුක්‍ඛා පමුච්චරෙ

 

එවමෙතං අභිඤ්ඤාය - භික්ඛු බුද්ධස්ස සාවකො

ගම්භීරං නිපුණං සුඤ්ඤං - පච්චයං පටිවිජ්ඣති

 

කම්මං නත්‍ථි විපාකම්හි - පාකො කම්මෙ න විජ්ජති

අඤ්ඤමඤ්ඤං උභො සුඤ්ඤං - නව කම්මං විනා ඵලං

 

යථාන සුරියෙ අග්ගි - න වණිම්හි න ගොමයෙ

න තෙසං බහි සො අත්‍ථි - සම්භාරෙහි ච ඡායති

 

තථා න අන්තො සම්මස්ස - විපාකෙ උපලබ්භති

බහිද්‍ධාපි න කම්මස්ස - න කම්මං තත්‍ථ විජ්ජති

 

ඵලෙන සුඤ්ඤාකං කම්මං - ඵලං කම්මෙ න විජ්ජති

කම්මං ච ඛො උපාදාය - තතො නිබ්බත්තතී ඵලං

 

න හෙත්‍ථ දෙවො න බ්‍ර‍හ්මා - සංසාරස්සත්‍ථී කාරකො

සුඤ්ඤධම්මා පවත්තන්තී - හෙතුසම්හාරපච්චයා

 

“කම් කරනුවෙක් නැති - විවා විඳිනෙක් නො ද ඇති,

හුදු දහම් පවතින්නේ - මේ මැයි දැකුම් තතු සේ”

 

“මේ ලෙසින් සහේතුක - කම් හා විවා ඇති කලැ,

බිජුවට රුක් - ලිය සේ - මුල් කොණ නො දක්නේ වේ”

 

“මතු කල සසරෙහි ද - නො පැවැත්මෙක් නො දිස්නේ,

මෙ අරුත නො දැක තොටුවෝ - මිසදිටු වසග වූවෝ”

 

“සත් සන් ගෙන සහස් වත*[744] උසිඳු+ දිටු ගැත්තේ,

එකිනෙක විරුදු බව් ඇති - දෙසැටක් කුදිටු ගත්තේ”

 

කුදිටු බැමි බැඳුණෝ - තණs සැඩ පහර ගිල්වත්,

තණ හෝ වාරŸ වැටුණෝ - සසර දුකින් නො මිදෙනෝ

 

“මෙසේ මෙ නියත තතු-දතු බුදු සව් මහණතෙමේ,

ගැඹුරු සියුම් අත් බැවින් - සුන්w පස දහම පිළිවිදි’

 

“කර්‍ම විවායෙහි තැත් - කම්හිදු විවා නැත්මැයි,

ඒ දෙක උනුත් සුන් වේ - කම් නැත© විවා නැත්තේ”

 

“ඉරැ හිරුකැන්මිණෙහි - ගොම සුන්නෙහි ද ගිනි නැත්,

ගිනි ඉන් බැහැර ද නො වේ - මොවුනතුරෙහි මැ වනුයේ”

 

“කර්‍ම ඇතුළත විවා - නොලැබේ කැමින් පිටත ද,

විවා ඇතුළත එලෙසින්න - කර්‍ම නො ලැබේ කිසි ලෙසින්”

 

“පෙලෙන්** කම් සුන් වේ - කම්හිදු පලය නැත්තේ

එතෙකුදු වුව කම් ඇසිරැ - විවා පලය උපද්දී”

 

“දෙවියෙක් බඹෙක් හෝ - මෙ සසර කරන්නෙක් නැති,

හේ පස++ නිමිත්තෙන් මෙහි - හුදු දම් මතුq පවත්නේ”

 

විශේෂ:- බීජයෙන් වෘක්‍ෂයැ, වෘක්‍ෂයෙන් නැවැත බීජයැ යි මෙසේ වෘක්‍ෂ බීජ සන්තතිය අනාදිකාලික හෙයින් පූර්‍ව කෝටිය නො පැනෙන්නා සේ ‘කර්‍මප්‍ර‍ත්‍යයයෙන් විපාක යැ විපාක ප්‍ර‍ත්‍යයයෙන් නැවැතැ කර්‍මයැයි කර්‍මවිපාක සන්තතිය අනාදි කාලික හෙයින් පූර්‍වකෝටිය නො පැනේ.

 

මෙසේ කම්මවට්ට - විපාකවට්ට වශයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කොට අතීතාදි කාලත්‍ර‍යයෙහි විචිකිච්ඡාව ප්‍ර‍හීණ කළ ඒ යෝගීනට සියලු අතීත-අනාගත-ප්‍ර‍ත්‍යුත්පන්න ධර්‍මයෝ චුති පටිසන්ධි වශයෙන් ප්‍ර‍කට වෙති. අනුපද කර්‍ම වශයෙන් නො වේ.

 

එ යොගීහු ගේ ඒ ප්‍ර‍ඥාව නාම-රූප පරිග්‍ර‍හ කිරීම හා නාම-රූපයන් ගේ ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කිරීමදැ යි මෙසේ ක්‍ර‍මයෙන් පරිච්ඡෙද වශයෙන් දත් හෙයින් ඤාතපරිඤ්ඤා නම.

 

ඒ යොගී මෙසේ දනී. ‘අතීත භවයෙහි කර්‍මප්‍ර‍ත්‍යයයෙන් උපන් ස්කන්‍ධයෝ ඒ භවයෙහි ම නිරුද්ධ වූහ. අතීත කර්‍මප්‍ර‍ත්‍යයයෙන් මේ (වර්‍තමාන) භවයෙහි අනික් ස්කන්ධයෝ පහළ වූහ. ඒ අතීත භවයෙන් මේ භවයට ආ එක ද ධර්‍මයකුදු නැත්තේ ය. මේ භවයෙහි ද කර්‍මප්‍ර‍ත්‍යයයෙන් නිපන් ස්කන්ධයෝ මේ භවයෙහි ම නිරුද්ධ වන්නාහ. පුනර්‍භවයෙහි අනික් ස්කන්ධයෝ පහළ වන්නාහ. මේ භවයෙන් පුනර්‍භවයෙහි අනික් ස්කන්ධයෝ පහළ වන්නාහ. මේ භවයෙන් පුනර්‍භවයට එක ද ධර්‍මයෙක් නොයන්නේ යැ. එහෙයින් ධර්‍මයන් ගේ භවාන්තර (අන්‍ය භවයකට) සංක්‍ර‍මණයෙක් නම් නැත්තේ යැ’ කියා යි.

 

නිදර්‍ශන:- ගුරු මුඛයෙන් හැදෑරු මන්ත්‍රාදිය අතවැසියා ගේ මුඛයට නො පිවිසේ. එහෙත් ඒ නො පිවිසීමෙන් අතවැස්සා ගේ මුඛයෙහි හැදෑරීම නො පවත්නේ නො වේ. පවත්නේ මැයි. දූතයා බී මන්ත්‍රොදකය රෝගියා ගේ උදරයට නො වදී. ඒ නො වැදීමෙන් ඔහු ගේ රෝගය නො සන්සිඳෙන්නේ නො වේ. සන්සිඳේමැ යි. මුහුණෙහි වූ අලඞ්කාර විධානය කැටපත් තලාදියෙහි මුඛප්‍ර‍තිබිම්බයට නො පැමිණේ. ඒ නො පැමිණීමෙන් කැටපත් අදියෙහි අලඞ්කාර විධානය නො පැනෙන්නේ නො වේ. පැනේ මැ යි. එක් පහන් වැටියක පහන් සිළුව අනික් පහන් වැටියකට සංක්‍ර‍මණය නො වේ. එහෙත් ඒ හේතුවෙන් ඒ පහන් වැටියෙහි පහන් සිළුව නො දැල්වෙන්නේ නො වේ. දැල්වේමැ යි.

 

මෙසේ ම අතීත භවයෙන් මේ භවයට ද, මේ භවයෙන් පුනර්‍භවයට ද කිසිදු ධර්‍මයෙක් සංක්‍ර‍මණය නො වේ. එහෙත් අතීත භවයෙහි ස්කන්ධ-ආයතන-ධාතු- ප්‍ර‍ත්‍යයයෙන් පුනර්‍භවයෙහි ද ස්කන්ධ-ආයතන-ධාතු නූපදින්නාහු නො වෙති. උපදින්නාහුමැය යි දනී.

 

“යථෙව චක්ඛුවිඤ්ඤාණං - මනොධාතු අනන්තරං

න චෙව ආගතං නාපි - න නිබ්බත්තං අනන්තරං

 

තථෙව පටිසන්ධිම්හි - වත්තතෙ චිත්තසන්තති

පුරිමං භිජ්ජති චිත්තං - පච්ඡිමං ජායතී තතො

 

තෙසං අන්තරිකා නත්‍ථි - වීචි තෙසං න විජ්ජති

න චිතො ගච්ඡති කිඤ්චි - පටිසන්‍ධි ච ජායති”

 

 

“මනදා*[745] අනතුර හි - සක්විනැණි‘න්+ නො ආයේ

එතෙකුදු එයටŸ අනතුරු - නො නිපන්නේ ද නො ද වේ”

 

“එ මෙන් පිළිසඳෙහි ද - සිත් පරපුර පවත්නේ

පළමු සිත© බුන් අනතුරු - පිළිසිඳ සිත උපද්දී”

 

“ඔවුනතුරැo කිසිවක් - නැති ඉන්§ අතුරු නැත්මැ යි

මින්w කිසිවක් එහි¦ නොයේ - පිළිසිඳ සිත ද උපදී”

 

මෙසේ චුති-පටිසන්ධි වශයෙන් දක්නාලද සියලු ධර්‍ම ඇති ඕහට සර්‍වාකාරයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ ඥානය ස්ථිර බවට පැමිණියේ වේ. සොළොස් වැදෑරුම් කඞ්ඛාව ප්‍ර‍හීණ වේ. හුදෙක් ඒ මතු නො වේ. (සත්‍ථිරිකඞ්ඛති) යනාදි ක්‍ර‍මයෙන් පැවැති අට වැදෑරුම් සැකය ද, ප්‍ර‍හීණ වේ. දෙසැට (62) දෘෂ්ටීහු විෂ්කම්භනය වෙති.

 

විශේෂ:- බුද්ධ - ධම්ම - සංඝ - සික්ඛා - පුබ්බන්ත - අපරන්ත - පුබ්බන්තාපරන්ත - පටිච්ච සමුප්පාද ධම්ම යන මේ අට තැන යි.

 

‘මෙසේ නානා නයින් නාම-රූපයනට ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හයෙන් තුන් කල්හි කාංක්‍ෂාව ඉක්ම සිටි ඤාණය කඞ්ඛාවිතරණ විසුද්ධිය’යි දත යුතු යථාභූතඤාණය යි ද එයට ම නමි.

 

විස්තර:- යට කී සොළොස් විචිකිච්ඡාව ද, බුදුන් කෙරෙහි සැක කරයි, යනාදී අට තැන්හි විචිකිච්ඡාව ද දෙ සැට දෘෂ්ටිය ද ඉක්ම සිටි හෙයින් කඞ්ඛාවිතනරණ විසුදධි යැයි ද, ධර්‍ම නම් ඵලයැ, එයට ප්‍ර‍ත්‍යය වූයේ ධර්‍මස්ථිති යැයි (ප්‍ර‍ත්‍යය ධර්‍මයයි) ඒ ප්‍ර‍ත්‍යය ධර්‍මයන් පිරිසිඳ දන්නා හෙයින් ධම්මට්ඨිතිඤාණ යැයි ද, සංස්කාර ධර්‍මයන් ගේ යථාස්වභාවය වූ අනිත්‍යාදිය දන්නා හෙයින් යථාභූතඤාණ යැයි ද සම්‍යක් දර්‍ශන යැයි ද මෙයට ම නමි, එයින් වදාළහ.

 

“අවිජ්ජා පච්චයො, සංඛාරා, පච්චයසමුප්පන්නා, අභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්තාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මඨිති ඤාණන්ති[746] ‘අවිද්‍යාව හෙත්‍වාදී වශයෙන් සංස්කාරයනට ප්‍ර‍ත්‍යය වේ. සංස්කාර දෙකම ප්‍ර‍ත්‍යය සමුත්පන්න යයි ප්‍ර‍ත්‍යය පිරිසිඳ දැනීම් වශයෙන් පැවැති ඥානය ධර්‍මස්තිති ඥානය නම් වේ.

 

ප්‍ර‍ශ්නය : අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ කවර ධර්‍ම කෙනෙකුන් තතු සේ දනී ද, දකී ද

 

උත්තරය : අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ නිමිත්ත සඞ්ඛ්‍යාත පඤ්චස්කන්ධය තතු සේ දනී, දකී. ඝන සංඥා ප්‍ර‍වෘත්තියට වස්තු හෙයින් නිමිත්ත නම් වේ. එහෙයින් සම්‍යක් දර්‍ශනය යි කියති.

 

ප්‍ර‍ශ්නය : ඕහට සම්‍යක් දර්‍ශනය කෙසේ වේ ද?

 

උත්තර : සංස්කාර විෂයෙහි නිත්‍යනා ලේශයකුදු නැති හෙයින් අනිත්‍ය වශයෙන් බලන්නාහට තතු සේ වැටහේ. එහෙයින් සම්‍යක් දර්‍ශනය වේ.

 

ප්‍ර‍ශ්නය : කෙසේ ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් දත් දේ අනු වැ යාමෙන් සර්‍ව ධර්‍මයෝ අනිත්‍ය වශයෙන් දක්නා ලද්දෝ වෙත් ද

 

උත්තරය : වර්‍තමාන ස්කන්ධයෙහි මෙන් අතීත - අනාගත ස්කන්ධයෙහි ද න්‍යාය වශයෙන් එළවා සියලු සංස්කාර අනිත්‍යය යි මනාව දර්‍ශනය වේ.

 

ප්‍ර‍ශ්නය : සැකය කොතැන්හි ප්‍ර‍හීණ වේ ද

 

උත්තරය : බුද්ධාදි අට තන්හි ද, ෂෝටශ (16) විචිකිච්ඡාස්ථාන යෙහි ද - (ද්වාෂෂ්ටි (62) දෘෂ්ටියෙහි ද, පිහිටි කාංක්‍ෂාව ප්‍ර‍හීන වේ. (විස්තර ටීකාහි වේ.)

 

ප්‍ර‍ශ්නය:- දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නේ කවර ධර්‍ම කෙනෙක් තතු සේ දනී ද, දකී ද

 

උත්තරය : දුක් වශයෙන් මෙනෙහි කරනුයේ උපාදින්න නම් වූ ස්කන්ධ ප්‍ර‍වෘත්තිය ක්ලෙශාභිසංස්කාරයන් විසින් පවත්වන හෙයින් අතිශයින් දුක්යැ යි දැනීම-දැකීම (වැටහීම) වේ. සෙස්ස ද මෙසේ යි.

 

ප්‍ර‍ශ්නය:- අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ කවර ධර්‍මයන් තතු සේ දනී, ද දකී ද

 

උත්තරය:- අනාත්ම වශයෙන් මෙනෙහි  කරන්නේ නිම්ත්ත ප්‍ර‍වෘත්තිය යි කියන ලද අධ්‍යාත්ම වූ ද, බාහිර වූ ද, සියලු සප්‍ර‍ත්‍යය නාම-රූප ධර්‍මයන් තතු සේ දනී, දකී, සෙස්ස ද මෙසේ මැ යි. මෙහි කාංක්‍ෂා ප්‍ර‍හීණ වේ.

 

ප්‍ර‍ශ්නය:- යථාභූතඥානය, සම්‍යක්දර්‍ශනය, කඞ්ඛාවිතරණය යන මේ ධර්‍මයෝ නනාර්‍ථයෝ වෙද්ද නානා ව්‍යඤ්ජනයෝ වෙද්ද නොහොත් එකාර්‍ථ වෙද්ද ව්‍යඤ්ජනයෝ ම නා නා වෙද්ද

 

උත්තරය:- යථාභූතඥානය, සම්‍යක්දර්‍ශනය, කඞ්ඛාවිතරණය යන මොහු එකාර්‍ථයෝ යැ, ව්‍යඤ්ජන ම වෙනසි. මේ නුවණින් යුක්ත වූ විදර්‍ශක තෙමේ බුදු සස්නෙහි ලබන ලද ආශ්වාස (=ප්‍ර‍තිෂ්ඨා) ඇත්තේ නියත ගති ඇත්තේ චුල්ලසොතාපන්න නම් වේ.

 

විස්තර:- පරමාර්‍ථ වශයෙන් ශාසනයෙහි ආශ්වාසය නම් ආර්‍ය්‍ය ඵලය යි. ප්‍ර‍තිෂ්ඨා නම් ආර්‍ය්‍යමාර්‍ගය යි. මේ යොගී තෙමේ මාර්‍ග - ඵලාධිගම නො කළේ ද ඒ අධිගම උපාය වූ ප්‍ර‍තිපත්ති යෙහි සිටි හෙයින් ලබන ලද ආශ්වාස-ප්‍ර‍තිෂ්ඨා ඇත්තකු මෙන් වේ ය යි (මෙසේ) කියන ලදී.

 

ඒ මෙසේ යි:- නො පිරිහුණු කඞ්ඛාවිතරණවිසුද්ධි ඇති විදර්‍ශක තෙමේ ලෞකික සීල-සමාධි-ප්‍ර‍ඥාසම්පත්තියෙන් යුක්ත හෙයින් මත්තෙහි මාර්‍ග-ඵලාධිගමය නො කෙළේ ද සුගති පරායණ ම වේය යි නියත ගතිකයැ යි කියන ලදී. එහෙයින් චුල්ලසොතාපන්න නම් වේ. සොතාපන්නයා ද අපාය දුර්‍ගති විනිපාත ක්‍ෂය කළ හෙයිනි.

 

තවද දිට්ඨිවිසුද්‍ධි සමධිගමයෙන් ලබ්ධාශ්වාස නම් වේ. ඒ මෙසේ යි : නාම-රූප පරිච්ඡෙදයෙන් ස්කන්ධ-ධාතු-ආයතනයන් ස්වභාව-සරස වශයෙන් සලකා ශාසනයෙහි ධම්මූපසංහිතප්‍රමොද්‍යා ප්‍ර‍තිලාභයෙන් ලබන ලද ආශ්වාස ඇත්තේ වෙයි.

 

කඞ්ඛාවිතරණවිසුද්‍ධි සමධිගමයෙන් ලබ්ධප්‍ර‍තිෂ්ඨ වේ. ඒ මෙසේ යි:- හේතු ප්‍ර‍ත්‍යය සහිත නාම-රූප දර්‍ශනයෙන් මඩනාලද දිට්ඨිකණ්ටක ඇත්තේ අහෙතු-විසමහෙතු වාදයෙන් මැඩ-පියන ලද්දේ තම තමා පිළිබඳ ප්‍ර‍ත්‍යයයෙන් ම ධර්‍ම ප්‍ර‍වෘත්තිය දැන ශාසනයෙහි පිහිටුවන ලද ශ්‍ර‍ද්‍ධා ඇත්තේ ලබ්ධප්‍ර‍තිෂ්ඨ නම් වේ. නාම-රූප වවත්‍ථානයෙන් දුඃඛසත්‍යය ද, ධම්මට්ඨිතිඤාණයෙන් සමුදය සත්‍යය ද, එය ම මෑත භාගයෙහි අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමාදී ක්‍ර‍මයෙන් මාර්‍ගසත්‍යය ද, විශිෂ්ට ඥානයෙන් දැන නාම-රූප ප්‍ර‍වෘත්තියෙහි දුඃඛභාවය දැක අප්‍ර‍වෘත්තිය ව නිරොධ (නිර්‍වාණ) යෙහි එකනාත් නැමුණු අදහස් ඇති බැවින් ලෞකික ඥානයෙන් ම චතුරාර්‍ය්‍ය සත්‍යයන් අධිගත හෙයින් අපායොත්පත්තියට අභව්‍ය වූයේ සෝතාපත්ති භූමියට භව්‍ය උත්පත්ති ඇත්තේ වන්නේය යි ද නියත ගතිකය යිචුල්ලසෝතාපන්නය යි ද එයින් කියන ලදී.

 

ඉන් නිබඳ සි ඇති - සැක දුරු කරන*[747] රිසි ඇති

මහණ සැමයුරු නම්-රූ- පසs පිරිගා+ කරන්නේ

 

සාධු ජනයන් ගේ ප්‍රමොදය පිණිස කළ විශුද්‍ධිමාර්‍ගයෙහි

 

ප්‍ර‍ඥාභාවනාධිකාරයෙහි කඞ්ඛාවිතරණ විසුද්‍ධි නිර්දේශ නම් වූ එකුන් විසිවන පරිච්ඡෙදය යි.

 


20 වන පරිච්ඡේදය

මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි නිර්දේශය

 

ඕභාසාදි දශ උපක්ශෙයන් ගෙන් මිදුණු මේ විදර්‍ශනා ප්‍ර‍ඥාව ආර්‍ය්‍ය මාර්‍ගයට පූර්‍වභාග වූ මාර්‍ගය යි ද, මේ ඕභාසාදි උපක්ලෙශ ආර්‍ය්‍ය මාර්‍ගය නො වේ ය යි ද, මෙසේ මාර්‍ගය ද, අමාර්‍ගය ද පිරිසිඳ දැන සිටි නුවණ මාර්‍ගා‘මාගූඥානදර්‍ශන විශුද්‍ධි නම.

 

ආරබ්ධ විදර්‍ශකයා හට අවභාෂදිය ඇති කල්හි මාර්‍ග-අමාර්‍ග දැනගන්නා නුවණ සම්භව වන හෙයින් එය සම්පාදනය කරනු කැමැති යෝගාවචරයා විසින් අතීතාදි භෙදභින්න සියලු සංස්කාර ධර්‍මයන් කලාප වශයෙන් මෙනෙහි කිරීම් සඞ්ඛ්‍යාත නය විදර්‍ශනාව පිණිස පළමු කොට ක්‍ර‍මයෙන් යොග කටයුතු යි ආරබ්ධ විදර්‍ශකයාහට ඕභාසාදිය සම්භව වූ කල්හි මාර්‍ගාමාර්‍ග ඥානය වේ. විදර්‍ශනාවට ද චක්ඛුදසකාදි කලාප සන්මර්‍ශනය මුල් වේ. එහෙයින් මෙය කඞ්ඛාවිතරණ විසුද්‍ධියට අනතුරු කොට උදෙසන ලදී.

 

තවද ක්‍ර‍මයෙකි:- තීරණපරිඥාව පවත්නා කලැ මග්ගා මග්ගඤාණය උපදී. තීරණ පරිඥාව ද ඥාත පරිඥාවට අනතුරුවැ උපදී. එහෙයිනුදු ඒ මාර්‍ගාමාර්‍ගඥානදර්‍ශන විශුද්‍ධිය සම්පාදනය කරනු කැමැත්තහු විසින් කලාප සන්මර්‍ශනයෙහි පිළිවෙළින් යොග වැඩිය යුතු යි. මේ ඒ පිළිබඳ විනිශ්චය යි.

 

ඤාතපරිඤ්ඤා යැ, තීරණපරිඤ්ඤා යැ, පහානපරිඤ්ඤා යැයි ලෞකික පරිඥා තුනෙකි.

 

එයින් වදාළහ. “අභිඤ්ඤාපඤ්ඤා ඤාතඨෙන ඤාණං. පරිඤ්ඤාපඤ්ඤා තීරණඨෙන ඤාණං, පහානපඤ්ඤා පරිච්චාගඨෙන ඤාණන්තී”[748] ‘රුප්පන ලක්‍ෂණය ඇත්තේ රූපය, යනාදි ඒ ඒ ධර්‍මයන් පිළිබඳ ස්වලක්ෂණය දන්නා නුවණ අභිඤ්ඤා පඤ්ඤා නම. ඒ ස්ව ලක්‍ෂණය දැන ගන්නා හෙයින් ඤාණ නමි. ‘රූපය අනිත්‍ය යැ’ යනාදීන් සාමාන්‍ය ලක්‍ෂණය පිරිසිඳ දැන ගන්නා නුවණ පරිඤ්ඤා පඤ්ඤා නම. එයම සන්මර්‍ශනාර්‍ථයෙන් ඤාණ නමි. නිත්‍යසංඥාදිය ප්‍ර‍හාණය කිරීම පිළිබඳ දැන ගන්නා නුවණ පහානපඤ්ඤා නම. එය නිත්‍යසංඥාදිය පරිත්‍යාග (බැහැර) කිරීම් අර්‍ථයෙන් ඤාණ නමි.’

 

විස්තර:- ‘රූපය රුප්පන (බිඳීම්) ලක්‍ෂණ යැ, වේදනාව විඳීම් ලක්‍ෂණ යැ යනාදීන් ඒ ඒ ස්කන්ධ-ධාතු-ආයතනාදීන් ඒ ඒවාට අයත් ආවේණික ලක්‍ෂණයන් පිළිබඳ වැ (ඇති ස්වභාවය) සැලකීම් වශයෙන් පැවැති ප්‍ර‍ඥාව ඥාතපරිඥා යැ.

 

‘රූපය අනිත්‍ය යැ, වෙදනාව අනිත්‍ය යැ’ යනාදි ක්‍ර‍මයෙන් ඒ රූපාදි ධර්‍මයන්ගේ ම අනිත්‍ය යැ, දුඃඛ යැ අනාත්ම යැ යන සාමාන්‍ය (සියල්ලට සාධාරණ) ලක්‍ෂණයට නඟා පැවැති ස්වභාවය වූ ලක්‍ෂණත්‍ර‍යය අරමුණු කොට ඇති විදර්‍ශනා ප්‍ර‍ඥාව තීරණපරිඥා නම.

 

ඒ ත්‍රෛභූමක ධර්‍මයන් කෙරෙහි ම නිත්‍ය සංඥාදිය දුරු කිරීම් වශයෙන් පැවැති ‘උණු බව නො හැර ම උණු දිය අරමුණු කරන්නා සේ’ ලක්‍ෂණය නො හැර ම ස්කන්ධයන් අරමුණු කරන ලක්‍ෂණාලම්බනික විදර්‍ශනා ප්‍ර‍ඥාව ප්‍ර‍හාන පරිඥා නම.

 

ඒ ත්‍රිවිධ පරිඥා අතුරින් සඞ්ඛාර පරිච්ඡෙදයේ (නාම-රූප පරිග්‍ර‍හයේ) පටන් ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හය දක්වා පැවැති ප්‍ර‍ඥාව ඥාත පරිඥාවට භූමිය යි.

 

මතභේද:- ස්කන්ධාදිය ද විදර්‍ශනාවට භූමි හෙයින් සියලු ස්කන්න්‍ධිය විචාරණය සංස්කාර පරිච්ඡෙදය යි ඇතැමෙක් යෙති.

 

නාම-රූප පරිග්‍ර‍හයේ පටන් ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හය තෙක් මේ අතුරෙහි ත්‍රෛභූමික ධර්‍මයන් ගේ තම තමා අයත් ලක්‍ෂණ ප්‍ර‍තිවේධයට ම අධිපති බව වේ.

 

චක්‍ෂුදර්‍ශකාදි කලාප සන්මර්‍ශනයෙහි පටන් උදයව්‍යයානුදර්‍ශනය තෙක් තීරණ පරිඥාවට භූමිය යි. මේ අතුරෙහි ‘නාමය නමන ලක්‍ෂණ යැ. රූපය රුප්පන ලක්‍ෂණ යැ’ යනාදීන් සාමාන්‍ය ලක්‍ෂණය ප්‍ර‍තිවේධයට ම අධිපති බව වේ.

 

භඞ්ගානුදර්‍ශනයේ පටන් මත්තෙහි ප්‍ර‍හාණපරිඥාවට භූමිය වේ.

 

විස්තර:- ඒ තීරණ - ප්‍ර‍හාණ පරිඥා දෙක ම ‘නමන ලක්‍ෂණය නාමයැ’ ‘රුප්පන ලක්‍ෂණය රූපයැ’යි මෙසේ නාම-රූපයන් ගේ සාධාරණ ආකාරය සැලැකීම් වශයෙන් පවත්නා හෙයින් එක් ආකාරයෙකින් තීරණ පරිඤ්ඤා ද, දිට්ඨි-කඞ්ඛාවන් විෂ්කම්භනය වන හෙයින් ප්‍ර‍හාණ පරිඥා ද ලැබේය යි තීරණප්‍ර‍හාණයෙහිදු ආධිපත්‍යය වේය යි කියත්. උත්කෘෂ්ට වශයෙන් දිට්ඨි විසුද්ධියට සංඛාර පරිච්ඡේද බව වන්නාක් මෙන් ලක්‍ෂණ ලම්බනික විදර්‍ශනාවට ම තීරණ - ප්‍ර‍හාණ කෘත්‍ය භාවය දතයුතු. එසේ කල්හි ත්‍රිවිධ ප්‍ර‍ඥාවෝ ම ව්‍යවස්ථිත වෙත්. මෙහි ප්‍ර‍ඥාව අනිත්‍යාදි ලක්‍ෂණ තීරණය කරන හෙයිනි. (සන්‍යාගත විස්තරය)

 

ඒ භඞ්ගානුපස්සනාවේ පටන් අනිත්‍යාදි වශයෙන් සංස්කාර සන්මර්‍ශනය කරන්නේ නිත්‍ය යැ (ශාස්වත යැ) යැ පැවැති මිථ්‍යා සංඥාව දුරු කෙරේ. (සංඥා ශීර්‍ෂයෙන් දිට්ඨි චිත්තයා ගේ ග්‍ර‍හණය වේ.) දුඃඛ වශයෙන් සන්මර්‍ශනය කරන්නේ සුඛ සංඥාව දුරු කෙරේ. අනාත්ම වශයෙන් බලන්නේ ආත්ම සංඥාව දුරු කෙරේ. එසේ අනිත්‍යාදි වශයෙන් බැලීමෙන් සංස්කාරයන් කෙරෙහි කළකිරුණේ නන්‍දිය යි කියන ලද සප්‍රීතික තෘෂ්ණාව දුරු කෙරේ. සංස්කාරයන් කෙරෙහි නො ඇලීම් වශයෙන් බලන්නේ රාගය දුරු කෙරේ. නිරොධානුපස්සනාවෙන් (සංස්කාර නිරුද්‍ධ වන හෙයින් පුනර්‍භවයෙහි නූපදනා සේ) බලන්නේ සංස්කාරයන් ගේ සමුදය (තෘෂ්ණාව) දුරු කෙරේ. පටිනිස්සග්ගානු පස්සනාවෙන් (සංස්කාරයන් නැවැතැ නො ගන්නා පරිද්දෙන් දුරු කරන්නේ) ග්‍රාහය දුරු කෙරේයැ යි මෙසේ නිත්‍ය සංඥාදීන් ප්‍ර‍හාණය සිද්ධ කරන යට කී සප්ත අනුපස්සනාවන් ගේ අධිපති බව වේ.

 

මෙසේ මේ ත්‍රිවිධ පරිඥාවන් ගේ සංස්කාර පිරිසිඳීම ද, ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හය ද සිද්ධකළ හෙයින් මේ යොගියා විසින් ඥාත පරිඥාව ම අධිගත වේ. අනෙක් තීරණ - ප්‍ර‍හාණ පරිඥා ද අවබෝධකළ යුතු වේ.

 

එයින් කීහ : “යස්මා තීරණ පරිඤ්ඤාය වත්තමානාය මග්ගා” මග්ග ඤාණ උප්පජ්ජති. තීරණ පරිඤ්ඤා ච ඤාත පරිඤ්ඤානන්තරා තස්මාපි තං මග්ගා‘මග්ග ඤාණදස්සන විසුද්ධිං සම්පාදෙතු කාමෙන කාලාපසම්මසනෙ තාව යොගො කත්තබ්බො” ‘තීරණ පරිඥාව ඇති කල්හි මග්ගාමග්ගඤාණය උපදී. තීරණ පරිඤ්ඤාව ද ඤාථ පරිඤ්ඤාවට අනතුරු වැ වේ එහෙයින් ඒ මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය සම්පාදනය කරනු කැමැති යෝගියා විසින් කලාප සන්මර්‍ශනයෙහි පිළිවෙළින් යොග වැඩිය යුතු ය.’ කියා යි. මේ ඒ පිළිබඳ පාළි ධර්‍මය යි. “කථාං අතීතිනිගත පච්චුප්පන්නානං ධම්මානං සංඛිපිත්‍වා වවත්‍ථා නෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං” ‘ඒ කලාප සන්මර්‍ශනය කෙසේ ද, අතීත-අනාගත පච්චුප්පන්න ධර්‍මයන් එකට සංග්‍ර‍හ කොට (හකුළුවා) අතීතාදී වශයෙන් මතු දැක්වෙන සේ විනිශ්චය කිරීමේ ප්‍ර‍ඥාව අනිත්‍යාදි වශයෙන් සන්මර්‍ශන (තීරණ) ය කිරීමේ ඤාණය වේ’

 

විස්තර : ‘අතීත - අනාගත - පච්චුප්පන්න වූ හෝ අධ්‍යාත්ම වූ හෝ - බාහිර වූ හෝ - ඔළාරික වූ හෝ - සුඛුම වූ හෝ - හීන වූ හෝ - ප්‍ර‍ණීත වූ හෝ - දුර වූ හෝ - ළඟ වූ හෝ - යම් කිසි රූපයක් වේ නම් ඒ එකොළොස් වැදෑරුම් සියලු රූපය අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථා කෙරේ. එද එක් සන්මර්‍ශනයෙනි. දුඃඛ වශයෙන් ව්‍යවස්ථා කෙරේ. එද එක් සන්මර්‍ශනයෙකි. අනාත්ම වශයෙන් ව්‍යවස්ථා කෙරේ. එද එක් සන්මර්‍ශනයෙකි. (විදර්‍ශනා ඥානයෙකි.)

 

යම්කිසි වේදනාවක් -පෙ- යම්කිසි විඥානයක් -පෙ- අනාත්ම වශයෙන් මෙනෙහි කෙරේ නම් ඒ එක් සන්මර්‍ශනයෙකි.

 

චක්‍ෂුව -පෙ- ජරා - මරණ - අතීතානාගතපච්චුප්පන්න වූ හෝ -පෙ- අනිත්‍ය හෙයින් ව්‍යවස්ථා කෙරේ නම් එක් සන්මර්‍ශනයෙකි. දුඃඛ වශයෙන් ව්‍යවස්ථා කෙරේ නම් එක් සන්මර්‍ශනයෙකි. අනාත්ම වශයෙන් ව්‍යවස්ථා කෙරේ නම් එක් සන්මර්‍ශනයෙකි.

 

අතීත - අනාගත - ප්‍ර‍ත්‍යුත්පන්න රූපය - අනිත්‍ය යැ. ප්‍ර‍ත්‍යයන් විසින් සකස් කරන ලද්දේ යැ. ප්‍ර‍ත්‍යයෙන් හට ගත්තේ යැ. ක්‍ෂය ස්වභාව ඇත්තේ යැ. ව්‍යව ස්වභාව ඇත්තේ යැ. විරාග ස්වභාව - නිරොධ ස්වභාව ඇත්තේ යැ යි සංක්‍ෂේපයෙන් ව්‍යවස්ථා කිරීමේ ප්‍ර‍ඥාව සන්මර්‍ශන ඥානය යි.

 

ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා-මරණ වේ. ජාතිය නැති කල්හි ජරා-මරණ නො වේ යැ යි සංක්‍ෂෙප කොට ව්‍යවස්ථා කිරීමේ ප්‍ර‍ඥාව සන්මර්‍ශන ඥානය යි. භව ප්‍ර‍ත්‍යයෙන් ජාතිය වේ. ‘භවය (කර්‍මය) නැති කලැ ජාතිය නොවේ ය යි ද -පෙ- ‘අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සංස්කාර වේ. අවිද්‍යාව නැති කලැ සංස්කාර නො වේ ය යි ද සංක්‍ෂෙප කොට ව්‍යවස්ථා කිරීමේ ප්‍ර‍ඥාව සන්මර්‍ශන ඥානය යි. අතීත කාලයෙහි ද, අනාගත කාලයෙහි ද අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සංස්කාර වේ යයි ද, අවිද්‍යාව නැති කලැ සංස්කාර නොවේ ය යි ද සංක්‍ෂෙප කොට ව්‍යවස්ථා කිරීමේ ඥානය සන්මර්‍ශන ඥානය යි. ඒ සන්මර්‍ශනයෙහි ඤාණය දක්නා ලද අර්‍ථයෙන් ඤාණ නමි. ප්‍ර‍කාරයෙන් දැනීම අර්‍ථයෙන් ප්‍ර‍ඥා නම. අතීත - අනාගත -පච්චුප්පන්න ධර්‍මයන් ගේ දැනීම සංක්‍ෂේප කොට ව්‍යවස්ථා කිරීම සන්මර්‍ශනයෙහි ඥානය යි එහෙයින් කියන ලදී.

 

මෙහිදු “චක්ඛුං -පෙ- ජරාමරණං” යන මේ පෙය්‍යලයෙන් ද්වාරාරම්මණයන් හා සමග සදොර පැවැති ධර්‍ම ගැනේ. (විස්තර ස්කන්ධ නිදෙර්‍ශාදියෙහි යැ) පඤ්චස්කන්ධ යැ, ෂඩ්වාර යැ, ෂඩාලම්බන යැ, සඩ් විඥානය යැ, ෂට් ස්පර්‍ශ යැ, ෂඩ් වෙදනා යැ, ෂට් සංඥා යැ, ෂට් චෙතනා යැ, ෂඩ් තෘෂ්ණා යැ, ෂඩ් විතර්‍ක යැ, ෂඩ් විචාර යැ, ෂඩ් ධාතු යැ, දශ කසින යැ, දෙතිස් කොටස් යැ, දොළොස් ආයතන යැ, අටළොස් ධාතු යැ, දෙවිසි ඉන්‍ද්‍රිය යැ, ත්‍රි ධාතු යැ, නව භව යැ, ධ්‍යාන සතර යැ, අප්පමඤ්ඤා සතර යැ, සතර සසමාපත්ති යැ, දොළොස් පටිච්ච සමුප්පාදාඞ්ග යැ යන මේ ධර්‍ම රාශිය සංක්‍ෂේප කරන ලදැ යි දතයුතු.

 

විශේෂ : මෙතෙක් දැක්වූ විස්තරයෙහි ආදි කර්මිකයා ගේ විදර්‍ශනා මනසිකාර පහසුව සඳහා “යං කිඤ්චි රූපං” යනාදීන් පඤ්චස්කන්ධය අතීතාදී වශයෙන් විභාග කොට පළමු වැ ගන්නා ලදි. ඒ ස්කන්ධයන් ම ද්වාර-ආලම්බනයන් හා ද්වාරයන්හි  පැවැති ධර්‍ම වශයෙන් විභාගය ලබන හෙයින් එයට අනතුරු වැ ෂඩ් ද්වාරාදී වශයෙන් දශ ෂට්කයෝ දැක්වූහ. තව ද ත්‍රිවිධ ලක්ෂණයන් අතුරින් අනාත්ම ලක්‍ෂණය දුඃඛ විභාගය කරන හෙයින් ඒ විභාගය පිණිස ෂඩ් ධාතුහු ගන්නා ලද හ.

 

ඉක්බිති ශාසනයෙන් පිටත් තීර්‍ථකයින් ගේ ආත්මාභිනිවෙශය ධ්‍යානයන් නිසා වන හෙයින් එයට අනතුරු වැ දස කසිනය ගන්නා ලදී. අනතුරු වැ දුඃඛානුපස්සනාවට පරිවාර වශයෙන් පිළිකුල් ආකාර වශයෙන් දෙතිස් කොටස්හු ගන්නා ලද හ. පළමුවෙන් ස්කන්ධ වශයෙන් සැකෙවින් ගත් ධර්‍ම සංක්‍ෂේප - විස්තර නො වූ ද ක්‍ර‍මයෙන් මෙනෙහි කළ යුතු බව දක්වනු පිණිස දොළොස් ආයතන ද, අටළොස් ධාතු ද, ගන්නා ලදහ. මේ ආයතන-ධාතු යන ධර්‍මයන්, ශුන්‍ය බව යැ, නිරුත්සාහ බව යැ, වීර්‍ය්‍ය රහිත බව යැ, යන මොවුන්

 

ඇති කල්හිදු ධර්‍මස්වභාවයෙන් අධිපති බැවින් පැවැත්ම දැක්වීමෙන් අනාත්ම ලක්‍ෂණ විභාගවනු පිණිස දෙවිසි ඉඳුරෝ දක්වන ලදහ. මෙසේ අනෙක භෙද භින්න මේ ධර්‍ම, භූමිත්‍ර‍යට ඇතුළත් බැවින් ත්‍රිවිධ වේය යි දක්වනු පිණිස ධාතු ත්‍ර‍ය දක්වන ලදි. මෙසේ නිමිති දක්වා පැවැත්ම දක්වනු පිණිස කාමාදි නව භවය දක්වන ලදී.

 

මෙ කී තාක් අභිඥෙය විෂයෙහි පැවැති මනසිකාර කෞශල්‍යයෙන් යුක්තවූවහු විසින් සියුම් වූ මහද්ගත විෂයෙහි මනසිකාර පැවැත්විය යුතු බැව් දක්වනු පිණිස ධ්‍යාන - අප්‍ර‍මාණ්‍ය ආරූප්‍යයෝ ගන්නා ලදහ. (මෙහි ධ්‍යාන නම් පෙරකී ධ්‍යානයෙන් ශේෂ වූ රූපාවචර ධ්‍යාන යැ) මේකී තාක් ධර්‍ම, ප්‍ර‍ත්‍යය - ප්‍ර‍ත්‍යය සමුත්පන්න විභාගයෙන් බෙදා මෙනෙහි කටයුතු බව් දක්වනු පිණිස වාදස පටිච්චසමුප්පාඞ්ගයෝ ගන්නා ලදහ. ප්‍ර‍ත්‍යයාකාර මෙනෙහි කිරීමෙන් ත්‍රිලක්‍ෂණය සුවසේ විභාග වන හෙයින් පසුව ගන්නා ලදි.

 

මෙසේ සන්මර්‍ශනය කටයුතු සේ ගන්නා ලද මේ ධර්‍මයෝ ස්කන්ධාදී කොටස් වශයෙන් පස්විසි (25) වැදෑරුම් වෙති. ප්‍රභේද හෙයින් අගභිතතගහණයෙන් ගෙන එක්සිය අට අනූවෙක් (198) වේ. මෙය අභිඥෙය නිර්‍දෙශයෙහි මෙසේ වදාළහ. “සබ්බං භික්ඛවේ අභිඤේඤය්‍යං”[749] යනාදි විසිනි. ‘මහණෙනි සියල්ල දත යුතුය. රූපාලම්බනය දත යුතුය. චක්‍ඛු විඤ්ඤාණය දත යුතු ය. චක්‍ඛුසම්ඵස්ස ය දත යුතු ය චක්‍ඛු සම්ඵස්ස ප්‍ර‍ත්‍යයයෙන් උපදනා සැප වූ හෝ දුක් වූ හෝ මැදහත් වූ හෝ වේදනාව දත යුතු ය.

සොතය - පෙ - ධර්‍ම සංඥා ද - මනොසම්ඵස්ස ප්‍ර‍ත්‍යයයෙන් උපදනා දුඛ වූ හෝ දුක්‍ඛ වූ හේ අදුක්‍ඛමසුඛ වූ හෝ වෙදනාව දත යුතු ය. රූපය - පෙ - විඤ්ඤාණ යැ. චක්‍ඛුප්පසාදයැ - පෙ - චිත්ත යැ, රූප යැ -පෙ- ධර්‍ම යැ, චක්‍ඛුවිඤ්ඤාණ යැ. - පෙ - මනොවිඤ්ඤාණ යැ, - පෙ - චක්‍ඛුසම්ඵස්ස යැ, - පෙ - මනොසම්ඵස්ස යැ. චක්‍ඛුසම්ඵස්සජවෙදනා යැ - පෙ - මනොසම්ඵස්සජ වෙදනා යැ, රූපසඤ්ඤා යැ - පෙ - ධම්මසඤ්ඤා යැ, රූපය අරමුණු කොට උපන් චෙතනා යැ - පෙ - ධර්‍මයන් නිසා හටගත් චෙතනා යැ, රූප තෘෂ්නා යැ - පෙ - ධර්‍ම තෘෂ්ණා යැ, රූප විතර්‍ක යැ - පෙ- ධර්‍මවිතර්‍ක යැ, රූප විචාර යැ - පෙ - ධර්‍මවිචාර යැ, පඨවිධාතු යැ, පෙ- විඤ්ඤාණ ධාතු යැ, පඨවි කසින යැ, - පෙ- විඤ්ඤාණ කසිනය, කෙස් යැ -පෙ- මත්‍ථලුඞ්ග යැ, චක්ඛායතන යැ, -පෙ- ධම්මායතන යැ, චක්‍ඛුධාතු යැ, -පෙ- මනොවිඤ්ඤාණ ධාතු යැ, චක්‍ඛුන්‍ද්‍රිය යැ, -පෙ- අඤ්ඤාතාවින්‍ද්‍රිය යැ, කාම ධාතු යැ, රූප ධාතු යැ, අරූපධාතු යැ, කාම භව යැ, රූප භව යැ, අරූප භව යැ, සඤ්ඤාභව යැ, අසඤ්ඤා භව යැ, නේවසඤ්ඤානාසඤ්ඤා භවයැ, එකවොකාර භවයැ, චතුවෝකාර භවයැ, පඤ්චවෝකාර භවයැ, එකවෝකාර භවයැ, චතුවෝකාර භවයැ, පඤ්චවෝකාර භවයැ, පඨමජ්ඣානයැ -පෙ- චතුත්‍ථජ්ඣාන යැ, මෙත්තා වේතෝ විමුත්තියැ, -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියැ යන ධර්‍මයෝ ද දතයුතු වෙත්. අවිද්‍යාව දතයුතු යැ, -පෙ- ජරා-මරණ දතයුතු. (ඒ අභිඤ්ඤෙය්‍ය ධර්‍ම පටිසසම්භිදා මාර්‍ග අභිඤ්ඤෙය්‍ය නිර්‍දෙශයෙහි විස්තර කොට වදාළ හෙයින් මෙහි එය පෙය්‍යාලයෙන් සංක්‍ෂේප කරන ලදී.)

 

විශේෂ : මෙසේ සැකෙවින් දක්වන ලද මේ ධර්‍ම රාශියෙහි වදාරන ලද අනඤ්ඤාතඤ්ඤාස්සාමිතින්‍ද්‍රියය ආදි ලොකොත්තර ධර්‍ම සන්මර්‍ශනයට නො එළඹෙන හෙයින් මේ සන්මර්‍ශනාඥාන වස්ථාවෙහි නො ගත යුතු යි. එහෙත් සන්මර්‍ශනයට එළඹෙන ධර්‍මයන් අතුරින් යෝගීහට යම් යම් ධර්‍මයක් ප්‍ර‍කට වේ නම් සුවසේ පරිග්‍ර‍හ කල හැකි වේ නම්, ඒ ධර්‍මයන් විෂයෙහි ඒ යෝගියා විසින් සන්මර්‍ශනය ආරම්භ කටයුතු යි (පසු වැ නො වැටහෙන ධර්‍ම ද උපායයෙන් වටහා ගෙන නිරවශේෂයෙන් සන්මර්‍ශනය කටයුතු යි)

 

තවද (1) “අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථා කෙරේ” යනාදීන් පළමුවන ලක්‍ෂණ ව්‍යවස්ථාපන වාරය ද

 

(2) “ක්‍ෂය වන අර්‍ථයෙන් දුඃඛ යැ” යනාදිය දෙවන හේතු වාරය ද

 

(3) “අනිත්‍යය ප්‍ර‍ත්‍යයන් විසින් කරන ලද්දේ යැ” යනාදිය ලක්‍ෂණයට හේතු කියන හෙයින් හෙතුපතිට්ඨාන වාරය ම එයට හේතු පිහිටුවීම සඳහා (සංඛතය) ප්‍ර‍ත්‍යයන් විසින් කරන ලද්දේය, යනාදිය කියන ලදී. එසේ ප්‍ර‍ත්‍යයෙන් නිපන් ධර්‍ම නිරුද්ධ වන ස්වභාවය ඇත්තේ යි. නිරුද්ධ නො වන්නෙක් නැති. ඒ යට කී ස්කන්ධ පඤ්චකාදි ද්‍වාරයන් අතුරින් මතු ස්කන්ධ වශයෙන් සන්මර්‍ශනයා ගේ ආරම්භ විධානය කියනු ලැබේ.

 

“යං කිඤ්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං -පෙ- සබ්බං තං රූපං අනිච්චතො වවත්‍ථපෙති එකං සම්මසනං”[750]

 

මෙහි මේ භික්‍ෂුතෙමේ ‘යම්කිසි රූපයකැ යි මෙසේ අනියමයෙන් දක්වන ලද සියලු රූපය අතීතාදි ත්‍රිකයෙන් හා අජ්ඣත්තිකාදි ද්වික සතර වශයෙන්දැ යි භූමි අවකාශ, පුද්ගල අවකාශ වශයෙන් එකොළොස් අවකාශයකින් පිරිසිඳ සියලු රූපය අනිත්‍යාදි වශයෙන් ව්‍යවස්ථා කෙරේ. එනම් අනිත්‍යයැයි විදර්‍ශනා කෙරේ.

 

ඒ මෙසේ යි:- “යං කිඤ්චි රූපං අතීතානාගත පච්චුප්පනං - පෙ - අනිච්චං ඛයට්ඨෙන”1 ‘යම් රූපයෙන් අතීත වේ ද (ඉපිද නිරුද්ධ වී ද) ඒ රූපය අතීතයෙහි ම ක්‍ෂය වූයේ ද මේ භවයට නො පැමිණියේ ද එහෙයින් (ක්‍ෂයාර්‍ථයෙන්) අනිත්‍ය යැ. මතු අනතුරු භවයෙහි යම් රූපයෙක් උපදී ද හෙද එහි ම ක්‍ෂයට පැමිණේ. එයින් තුන්වන භවයට නො පැමිණියේ යි ක්‍ෂයාථර්ථයෙන් අනිත්‍ය යැ. ප්‍ර‍ත්‍යුත්පන්න වූ යම් රූපයෙක් වේ නම් එය ද මේ භවයෙහි ම ක්‍ෂය වේ. මෙයින් දෙවන භවයට නො පැමිණේය යි ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍ය යැ. යම් අධ්‍යාත්ම (ස්වසන්තානගත) රූපයෙක් වේ නම් හෙද අධ්‍යාත්මයෙහි ම ක්‍ෂය වේ. බහිද්ධා රූප බවට නොයේ යයි ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍ය යැ. යම් බාහිර රූපයෙක් වේ නම් හෙද බැහැරදී ම ක්‍ෂය වේ. අධ්‍යාත්ම රූප බවට නොයේ ය යි ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍ය යැ. ඖදාරික රූපය ද, සියුම් රූපය ද, හීන රූපය ද, ප්‍ර‍ණීත රූපය ද, දුර වූ රූපය ද, සන්තික වූ රූපය ද යන මේ සියලු රූපය ම එහි ම ක්‍ෂය වේ. දුර රූප බවට නො යේය යි ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍යයැ යි මෙසේ සන්මර්‍ශනය කෙරේ. මේ අතීතාදි එකොළොස් අවකාශස්ථ රූපය ම “අනිච්චං ඛයට්ඨෙන” යි මේ සන්මර්‍ශනයා ගේ වශයෙන් එක් සන්මර්‍ශනයෙක.

 

ඒ සියලු රූපය ම භයාර්‍ථයෙන් දුක වේ. “දුක්ඛං භයටෙඨන[751] යි සන්මර්‍ශනය කෙරේ. ‘මම විනාශ වෙමි’ ‘මා සතු දෙය විනාශ වේය’ යි සිතන්නා වූ අප්‍ර‍හීණ කෙලෙස් ඇත්තහුට භය උපදී. සීහොපම සූත්‍ර‍ය[752] දෙසූ කල දෙවියන්ට ද භය උපන්නාක් මෙනි. (යමක් අනිත්‍ය නම් එය භය සහිත බැවින් දුක් වේ.)

 

යමක් දුක් වේ නම් එය අසාර අර්‍ථයෙන් අනාත්ම වේ. එයින් වදාළහ. “අනත්තා අසාරට්ඨෙන1 යි අසාරාර්‍ථය නම් ආත්මය යි ද, තමහට වසඟ වූවෙක් ඇතැයි ද, කාරකයෙක් ඇතැයි ද, විඳින්නෙක් ඇතැයි ද, තමහට වසග වන සුලුය යි ද, මෙසේ සලකන ලද ආත්ම සාරයක් ඇතැයි කල්පනා කරනු ලැබේ ද, හෙද ඒකාන්තයෙන් අනිත්‍ය යැ. දුඃඛ යැ. (එහෙයින් ම) එයට තබා පිළිබඳ වූ, අනිත්‍යභාවය හෝ උත්පාද-ව්‍යය දෙක්හි පෙළීම හෝ වැළකීමට නො හැකි වේ. ඔහු ගේ කාරකාදි භාවයෙක් කොයින් වේ ද

 

එයින් වදාළහ.

 

“රූපංද හිදං භික්ඛවෙ අත්තා අහවිස්ස න ඉදං රූපං ආබාධාය සංචත්තෙය්‍ය”[753] ‘මහණෙනි! රූපය ආත්ම වේ නම් එය ආබාධ පිණිස නො පවත්නේය’ යි. මේ වශයෙන් එක් සන්මර්‍ශනයෙක. එය භේදයෙන් එකොළොස් වැදෑරුම් වේ. වේදනාදි සෙසු ස්කන්ධ සතරෙහි ද මේ ක්‍ර‍මය මැයි. මෙසේ රූපස්කන්ධයෙහි අභෙද හෙයින් ත්‍රිවිධ සන්මර්‍ශනය භෙදයෙන් තෙතිස් (33) වැදෑරුම් වේ.

 

මෙසේ පඤ්චස්කන්ධ වශයෙන් සන්මර්‍ශන භේද එක්සිය පන්සැටෙක් (33+5=165) වේ. ද්වාරෂට්කාදියෙහි ද මේ නයින් ම යථායෝගයෙන් සන්මර්‍ශන භෙද දත යුතුයි. තවද අන්‍යවූයේ නියමයෙන් සඞ්ඛතාදි භේදයට යන හෙයින් එයට පර්‍ය්‍යාය දැක්වීම පිණිස හෝ නානාප්‍ර‍කාරයෙන් මනසිකාර ප්‍ර‍වෘත්තිය දැක්වීම පිණිස හෝ “රූපං අතීතානාගතපච්චුප්පන්තං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්තං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං”[754] යි ‘අතීත - අනාගත - පච්චුප්පන්න වූ ඒ රූපය ඇතිවැ නැති වන හෙයින් අනිත්‍ය යැ. හේතුප්‍ර‍ත්‍යයයෙන් කරන ලද්දේ ය’ ප්‍ර‍ත්‍යයෙන් නිපන්නේ යැ, ක්‍ෂය වන ස්වභාවය ඇත්තේ යැ, ව්‍යය වන ස්වභාවය ඇත්තේ යැ, එහෙයින් (ආශාව) සිඳෙන ස්වභාවය ඇත්තේ යැ. නිරුද්ධ වන ස්වභාව ඇත්තේ යැ’යි නැවැතැ පාළිය වදාරන ලදී.

 

වේදනාදියෙහි ද මේ ක්‍ර‍මය මැයි. ඒ යෝගී පඤ්චස්කන්ධයෙහි එකී අනිත්‍ය -දුඃඛ - අනාත්ම සන්මර්‍ශනයා ගේ ස්ථිර භාවය පිණිස “කතමෙහි චත්තාරීසාය ආකාරෙහි අනුලො - ඛත්තිං පටිලභති කතමෙහි චත්තාලිසාය ආකාරෙහි සම්මත්තනියාමං ඔක්කමතී”[755] යි ‘කවර සතලිස් ආකාරයෙකින් ආර්‍ය්‍යමාර්‍ගාධිගමයට අනුලොම් වූ ඥානක්‍ෂාන්තිය පිළිලබා ද -පෙ- ආර්‍ය්‍ය මාර්‍ගයට බසී ඳ යන මේ පෘච්ඡා විභඞ්ගයෙහි බෙදා දැක්වීමෙහි

 

“පඤ්චක්ඛන්‍ධෙ අනිච්චතො -පෙ- පස්සන්තො සම්මත්ත නියාමං ඔක්කමතීති[756]

 

පඤ්චස්කන්ධයන්

 

1.  අනිත්‍ය වශයෙන් 15. පභඞ්ගු වශයෙන්        29. විභව වශයෙන්

2.  දුඃඛ වශයෙන්         16. අඬුව වශයෙන්          30. සාසව වශයෙන්

3.  රෝග වශයෙන්  17. අත්තාන වශයෙන්       31. නිරාමිස වශයෙන්

4.  ගණ්ඩ වශයෙන් 18. අලෙන වශයෙන්        32. මාරාමිස වශයෙන්

5.  සල්ල වශයෙන්  19. අසරණ වශයෙන්        33. ජාතිධම්ම වශයෙන්

6.  අඝ වශයෙන්          20. රිත්ත වශයෙන්          34. ජරාධම්ම වශයෙන්

7.  ආබාධ වශයෙන් 21. තුච්ඡ වශයෙන්         35. ව්‍යාධිධම්ම වශයෙන්

8.  පර වශයෙන්          22. සුඤ්ඤ වශයෙන්        36. මරණධම්ම වශයෙන්

9.  පලොක වශයෙන්      23. අනත්ත වශයෙන්        37. සොකධම්ම වශයෙන්

10.           ඊති වශයෙන්          24. ආදීනව වශයෙන්           38.පරිදෙවධම්ම වශයෙන්

11. උපද්දව වශයෙන් 25. විපරිණාමධම්ම වශයෙන්      39.උපායාසධම්මවශයෙන්

12.           භය වශයෙන්         26. අසාර වශයෙන්            40.සංකිලෙසධම්මවශයෙන්

13.           උපස්සග්ග වශයෙන්   27. අඝමූලක වශයෙන්

14.           චල වශයෙන්          28. වධක වශයෙන්     

 

යන මෙකී සතලිස් (40) ආකාරයෙන් අනිත්‍ය වශයෙන් බලන්නේ අනුලොම ක්‍ෂාන්තිය පිළි ලබ යි. පඤ්චස්කන්ධයන් ගේ අනුත්පාද නිරොධය, නිත්‍ය යැ, නිර්‍වාණය යි දක්නේ ආර්‍ය්‍ය මාර්‍ගයට බසී යනාදි ක්‍ර‍මයෙන් අනුලොම ඤාණය විස්තර කරන්නහු විසින් ප්‍රභෙද හෙයින් කියන ලද සන්මර්‍ශනයන් ගේ වශයෙන් ද, මේ පඤ්චස්කන්ධයන් සන්මර්‍ශනය කෙරේ.

 

ඒ මෙසේයි.

 

(1) ඒ යොගී තෙමේ එකී එකී ස්කන්ධය අනිත්‍ය බව අන්තකොට ඇති හෙයින් (අශාස්වත හෙයින්) ද, පූර්‍ව-අපර කොටි ඇති හෙයින් ද අනිත්‍ය හෙයින් සන්මර්‍ශනය කෙරේ.

 

(2) උත්පාද - ව්‍යය දෙකින් කෙණෙහි - කෙණෙහි පෙළෙන බැවින් ත්‍රිවිධ දුඃඛයට හා සංසාර දුඃඛයට වස්තු හෙයින් දුක්ඛ වශයෙන් සන්මර්‍ශනය කෙරේ.

 

(3) සුදුසු ප්‍ර‍ත්‍යයෙන් යැපිය යුතු බැවින් ද, සියලු රෝගයනට මුල බැවින් ද, රොග වශයෙන් ද

 

(4) ත්‍රිවිධ දුඃඛතා සඞ්ඛ්‍යාත රුජාවෙන් යුක්ත හෙයින් ද, කෙලෙස් නැමැති අසූචි වහනය වන  බැවින් ද, උත්පාදය, ජරාය, භඞ්ගය යන මෙයින් ද, ඉදිමීම ය, පැසවීම ය, බිඳීම ය, යන මෙයින් ද යුක්ත හෙයින් ගඩක් වශයෙන් ද

 

(5) පීඩා උපදවන හෙයින් ද, ඇතුළත විදින හෙයින් ද, (ආර්‍ය්‍ය මාර්‍ගයෙන් මුත්) බැහැර කළ නොහැකි හෙයින් ද ශුල වශයෙන් ද,

 

(6) ගැරහිය යුතු හෙයින් ද, අවැඩ එළවන හෙයින් ද, අඝ වස්තු හෙයින් ද අඝ (පාප) වශයෙන් ද,

 

(7) පරවශ බව් කරන හෙයින් ද, ආබාධයට පිහිට හෙයින් ද, ආබාධ වශයෙන් ද,

 

(8) වශයෙහි නො පවත්නා හෙයින් ද, (නහමක් දිරව, නහමක් මියව) ‘නො දිරව - නො මියව යි’ මෙසේ කල විධානයෙහි නො පිහිටන හෙයින් ද පර වශයෙන් ද,

 

(9) ව්‍යාධි - ජරා - මරණයන් ගෙන් බිඳෙන හෙයින් පලොක වශයෙන් ද,

 

(10)    නොයෙක් ව්‍යසන පමුණුවන හෙයින් ඊති වශයෙන් ද,

 

(11)    නො දන්නා ලද්දා වූ ම මහත් අනර්‍ථ පමුණුවන හෙයින් ද, සියලු උපද්‍ර‍වයනට වස්තු හෙයින් ද උපද්දව වශයෙන් ද,

 

(12)    සියලු භයට ආකාර හෙයින් ද, දුක් සිසිඳුවීම වූ නිවනට ප්‍ර‍තිපක්ෂ හෙයින් ද භය වශයෙන් ද,

 

(13)    නොයෙක් අනර්‍ථ ලුහුබඳනා ලද හෙයින් ද, දොෂයන් විසින් අරමුණු වශයෙන් සැරිය යුතු හෙයින් ද, රාග දොෂාදීන් අනේක දෝෂයන් ඇලී තිබෙන හෙයින් රාගාදීන් හා ඇලීම් අර්‍ථයෙන් ද, ඉවසනු නොහැකි හෙයින් ද උපස්සග්ග වශයෙන් ද,

 

(14)    ව්‍යාධි - ජරා - මරණයන් ගෙන් ද, ලාභාදි අෂ්ට ලෝක ධර්‍මයෙන් ද චලනය වන හෙයින් චල වශයෙන් ද,

 

(15)    උපක්‍ර‍මයෙන් ද, ස්වභාවයෙන් ද භඞ්ගයට පැමිණෙන සුලු හෙයින් පභඞ්ගු වශයෙන් ද,

 

(16)    සියලු අවස්ථාවෙහි (වෘක්ෂ ඵලයක් මෙන්) හෙන සුලු බැවින්, ස්ථිර භායක් නැති හෙයින් ද අඬුව වශයෙන් ද,

 

(17)    ජරා-මරණාදි දුකින් හා අපායාදි දුකින් ආරක්ෂා නොකළ හැකි බැවින් ද, ක්‍ෂෙම බව නො ලැබිය හැකි හෙයින් ද, අත්තාන වශයෙන් ද,

 

(18)    ආරක්ෂාස්ථාන සොයනවුනට දුක්ඛාදීන් ආරක්ෂාවීමට ස්ථාන නොවන හෙයින් ද, ඇලුනවුනට ද ආරක්ෂාස්ථාන නො වන හෙයින් ද අලෙන වශයෙන් ද,

 

(19)    පැමිණි ජාත්‍යාදි භය නැසීමෙන් නිඃශ්‍රිතයනට පිහිට වීමට අසමර්‍ථ හෙයින් අසරණ වශයෙන් ද,

 

(20)    අඥාන ලොකයා විසින් ඇතැයි සලකන ලද ධුව-සුභ-සුඛ-ආත්මභාවයෙන් ශුන්‍ය හෙයින් රිත්ත වශයෙන් ද

 

(21)    රික්ත හෙයින් ම අල්ප බැවින් ද, ලාමක බැවින් ද තුච්ඡ වශයෙන් ද,

 

(22)    ස්වාමීය, නිවාසීය, කාරකය, වෙදකය, අධිඨායිකය යන ආත්ම භාවයෙන් හිස්බැවින් සුඤ්ඤ වශයෙන් ද,

 

(23)    තමා ද ස්වාමිකාදි ස්වභාවයෙන් වියුක්ත හෙයින් අනත්ත (අනාත්ම) වශයෙන් ද,

 

(24)    භවයෙහි පැවැත්ම දුක් හෙයින් ද, දුඃඛය ආදීනව හෙයින් ද, නොහොත් නිතර බැගෑ බැවින් පවතින හෙයින් ද (ආදීනව යනු දුගී මනුෂ්‍යයාට නමෙකි. ආදීනව සදෘශ හෙයින්) ආදීනව වශයෙන් ද,

 

(25)    ජරා-මරණ දෙකින් පෙළෙන හෙයින් විපරිණාම ධර්‍ම වශයෙන් ද,

 

(26)    දුර්‍වල හෙයින් ද, ඵලයක් මෙන් පහසුවෙන් බිඳිය හැකි හෙයින් ද අසාර වශයෙන් ද,

 

(27)    පවට මුල්වන හෙයින් අඝමූලක වශයෙන් ද,

 

(28)    මිත්‍ර‍යකු වැනි සතුරකු මෙන් විශ්වාස ඝාතක (විශ්වාසයෙහි තබා සිටිනවුන් නසන) හෙයින් වධක වශයෙන් ද,

 

(29)    නිත්‍ය - සුඛ - ශුභ - ආත්ම සඞ්ඛ්‍යාත වැඩීම් නැති හෙයින් විභව වශයෙන් ද,

 

(30)    ආශ්‍ර‍වයනට හෙතු බැවින් සාසව වශයෙන් ද,

 

(31)    ප්‍ර‍ත්‍යයයෙන් නිපදවන ලද බැවින් සඞ්ඛත වශයෙන් ද,

 

(32)    මෘත්‍යුමාර - ක්ලේශමාරයනට ගොදුරුවන හෙයින් මාරාමිස වශයෙන් ද,

 

(33)    ජාතිය ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

 

(34)    ජරාව ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

 

(35)    ව්‍යාධිය ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

 

(36)    මරණය ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

 

(37)    ශොකය ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

 

(38)    පරිදෙවය ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

 

(39)    උපායාසය ස්වභාව කොට ඇත්තවුන් වශයෙන් ද,

 

(40)    තෘෂ්ණා - දෘෂ්ටි-දුශ්චරිත-සංකෙලශයනට විෂය වන හෙයින් සංකෙලශ වශයෙන්දැ යි මෙසේ ප්‍රභෙද වශයෙන් කියන ලද අනිත්‍යාදි සන්මර්‍ශනයා ගේ වශයෙන් සන්මර්‍ශනය කෙරේ. යට කී සතලිස් විදර්‍ශනාවෝ අනිත්‍යාදි අනුපස්සනා තුනෙහි අන්තර්ගත වෙත්. එහි ඇතුළත් බව දක්වනු පිණිස මේ කියනු ලැබේ.

මේ කලාප සන්මර්‍ශනයෙහි හෝ නය විදර්‍ශනාවෙහි

(1) අනිත්‍ය වශයෙන් ද,

(2) පලොක වශයෙන් ද,

(3) චල වශයෙන් ද,

(4) පභඞ්ගු වශයෙන් ද,

(5) අඬුව වශයෙන් ද,

(6) විපරිණාමධම්ම වශයෙන් ද,

(7) අසාරක වශයෙන් ද,

(8) විභව වශයෙන් ද,

(9) සඞ්ඛත වශයෙන් ද,

(10)    මරණධම්ම වශයෙන් දැයි එකි එකී ස්කන්ධයෙහි දසය දසය බැගින් පඤ්චස්කන්ධයෙහි පනස් (50) අනිත්‍යානුපස්සනාවෙකි.

 

(1) පර වශයෙන් ද,

(2) රික්ත වශයෙන් ද,

(3) තුච්ඡ වශයෙන් ද,

(4) සුඤ්ඤ වශයෙන් ද,

(5) අනත්ත වශයෙන් දැ යි එකෙකි. ස්කන්ධයෙහි පසක් පසක් බැගින් අනත්තානුපස්සනා පස් විස්සෙක් (25) වේ.

 

සම සතලිස් (40) අනුපස්සනා අතුරින් සෙසු ‘දුඃඛ වශයෙන්, රොග වශයෙන් යනාදි පස් විස්සෙහි එකෙකි ස්කන්ධයෙහි පස් විස්ස බැගින් පඤ්චස්කන්ධයෙහි දුඃඛානුපස්සනා එක්සිය පස් විස්සෙක් (125) වේ. මෙසේ අනිත්‍යාදි තුන් අනුපස්සනාවන්හි ඇතුළත් වූ දෙසියයක් (200) භේද ඇති සන්මර්‍ශනයෙන් පඤ්චස්කන්ධය සන්මර්‍ශනය කරන්නා වූ ඒ යොගී යට නය විදර්‍ශනා සඞ්ඛ්‍යාත අනිත්‍ය - දුඃඛ - ආන්තම යන ත්‍රිලක්ෂණ සන්මර්‍ශනය ස්ථිර වේ.

 

මේ නය විදර්‍ශනාවයි.

 

මේ පිළිවෙළින් පෙළෙහි ආ නයින් සන්මර්‍ශනාරම්භ විධානය වේ. මෙසේ නය විදර්‍ශනාවෙහි යෝග කරන්නා වූ ඒ යෝගී යට නය විදර්‍ශනාව සිද්ධ නොවේ නම් ඒ යෝගීහු විසින් මතු දැක්නෙ නව ආකාරයෙන් ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රිය තියුණු කටයුතුයි.

 

ඒ මෙසේයි,

(1) උපනුපන් සංස්කාරයන් ගේ ක්‍ෂයය ම දකී.

(2) ඒ ක්‍ෂය දර්‍ශනයෙහි ආදරය කිරීමෙන් සපයයි.

(3) සත්ත ක්‍රියායෙන් සම්පාදනය කෙරේ.

(4) ආවාසාදි සත්ප්‍රාය ක්‍රියායෙන් සපය යි.

(5) සමාධිහු ගේ නිමිති ගැනීමෙන් ද,

(6) සප්තබෞද්ධ්‍යාඞ්ගයන් අනුවැ පැවැත්මෙන් ද,

(7) කායයෙහි හා ජීවිතයෙහි හා නිරපෙක්ෂ බව එළවයි.

(8) එහි ද නෛෂක්‍ර‍ම්‍යයෙන් මැඩ

(9) භාවනාවන් ගේ අතරැ අවිච්ඡෙදයෙන් (කඩ නොකර) යයි.”

 

මෙසේ කියන ලද නව ආකාරයන් ගේ වශයෙන් ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රියයන් තිවුණු කොට පඨවි කසිණ නිර්‍දෙශයෙහි කී සෙයින් ආවාස - ගොචර - භස්ස - පුග්ගල - භොජන - සෘතු - ඉරියාපථ යන සප්ත (7) අසත්ප්‍රායයන් දුරු කොට සප්ත සත්ප්‍රායයන් සේවනය කරමින් කලෙක රූප ද, කලෙක අරූප ද සන්මර්‍ශනය කටයුතුයි. රූපය සන්මර්‍ශනය කරන්නහු විසින් රූපයා ගේ උත්පත්තිය බැලිය යුතු. (පළමු ආගමානුසාරයෙන් බලන ලද්ද පසු වැ (විදර්‍ශනා) අනුක්‍ර‍මයෙන් විදර්‍ශනාව බලවත් වූ කල ප්‍ර‍ත්‍යක්‍ෂෙයෙනුදු බැලිය යුතු.)

 

විස්තර - රූපය සන්මර්‍ශනය කරන්නහු විසින් රූපයන් ගේ උත්පත්තිය බැලිය යුතුයි. මේ රූපය කර්‍මාදි සතර කාරණයෙකින් නිපදේ. ඒ මෙසේ යි :- කාමාවචරාදි භූමි වශයෙන් ද, අණ්ඩජාදි යොනි වශයෙන් ද, භින්න වූ සියලු සත්නට උපදනා රූප පළමු කොට කර්‍මයෙන් උපදී. ප්‍ර‍තිසන්ධික්‍ෂණයෙහි ගර්‍භශායි සත්ත්වයනට ජීවිතින්‍ද්‍රිය ය, අවිනිර්‍භොග රූපය ය, හෘදය වස්තු රූපය යන වස්තු දශකය ද,

 

ජීවිතින්‍ද්‍රිය ය, අවිනිර්‍භොග රූපය, භාව රූපය යන භාව දශකය ද ත්‍රි සන්තති වශයෙන් වස්තු දශක, කාය දශක, භාව දශකයන් වශයෙන් රූප තිසක් (30) උපදී. ඒ රූප ද ප්‍ර‍තිසන්ධි චිත්තයා ගේ උත්පාදක්‍ෂණයෙහි උපදී. එසේ ම ස්ථිති - භඞ්ගක්‍ෂණයන්හි ද උපදී.

 

ඒ නාම-රූප දෙකින් රූපය දන්‍ධ (ලැසිවැ) නිරෝධ වේ. (සතළොස් 17) චිත්තක්‍ෂණයක් ආයු ඇති හෙයිනි) ගුරු පරිවර්‍තති (ප්‍ර‍මාද වැ පෙරළෙන සුලු) වේ.

 

චිත්තය වහා නිරුද්ධවේ. (ලඝුපරිවර්‍තති වේ.) එයින් වදාළහ. “නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මපි සමනුපස්සාමි යං එවං ලහුපරිචත්තං යථයිදං චිත්තං[757]

 

‘මහණෙනි! සිත යම් සේ වහා පෙරළේ ද එබඳු අන් එක ද ධර්‍මයකුදු නොම දකිමි යි’ කියායි. රූප ධරමාන කල්හි ම භවාඞ්ග චිත්තය සොළොස් (16) වරක් ඉපිද නිරුද්ධ වේ.

 

විශේෂ :- චිත්තයා ගේ උත්පාදක්‍ෂණය, ස්ථිතික්‍ෂණය, භඞ්ගක්‍ෂණය යන තුන ම එක සමානය. (සම ප්‍ර‍මාණ වේ.) රූපයා ගේ උත්පාද භඞ්ගක්‍ෂණ සැහැල්ලු වේ. සමප්‍ර‍මාණයැ. ස්ථිතික්‍ෂණය මහත් වේ. සිත් සොළසක් ඉපිද නිරුද්‍ධ වන තාක් පවතී.

 

විස්තර:- ප්‍ර‍තිසන්ධි සිත උපදනා කෙණෙහි ම ඉපිද පැවැතී (එහෙයින් ම පුරෙජාත වූ) හෘදය වස්තු රූපය නිසා දෙවන භවාඞ්ග සිත උපදී. ඒ දෙවෙනි භවාඞ්ග සිත හා ඉපිද පැවැති පුරෙජාත හෘදය වස්තුව නිසා තුන්වන භවාඞ්ග සිත උපදී. මේ නයින් ආයු ඇතිතාක් චිත්ත ප්‍ර‍වෘත්තිය දතයුතු. මරණාසන්න වූවහුට එකට පැවැති පුරෙජාත වත්‍ථුරූපය නිසා සොළොස් චිත්තක්‍ෂණයක් උපදී. ඔපපාතික සත්ත්‍වයනට - චක්ඛු දසක - සොතදසක - ඝාණදසක - ජිව්හාදසන - කායදසක - භාවදසක - වත්‍ථුදසක වශයෙන් (සන්තති ශීර්‍ෂ වශයෙන්) රූප සැත්තෑවක් (70) පවතී.

 

විශේෂ :- අසඤ්ඤසත්ත පටිසන්ධියෙහි චිත්තප්‍ර‍වෘත්ති නැති මේ කර්‍ම වශයෙන් රූප ප්‍ර‍වෘත්තියෙහි කර්‍මය, කර්‍ම සමුත්‍ථානය, කර්‍මප්‍ර‍ත්‍යය, චිත්තසමුත්‍ථානය, කර්‍මප්‍ර‍ත්‍යය, ආහාරසමුත්‍ථානය, කර්‍මප්‍ර‍ත්‍යය, සෘතුසමුත්‍ථානය යි මේ රූප විභාගය දතයුතු.

 

මෙහි කර්‍ම නම් කුශල-අකුශල චේතනා යි.

 

කර්‍මසමුත්‍ථාන නම් විපාක වූ වේදනාදි ස්කන්ධ හා චක්ෂුදශකාදි සමසැත්තෑ (70) රූපය යි. (ජීවිත නවකය ද මෙයට ම ඇතුළති)

 

කර්‍මප්‍ර‍ත්‍යය ද කුශලා‘කුශල කර්‍මයෙන් උපස්තම්භක ලද එම විපාකස්කන්ධය හා කර්‍මජ රූප මැයි.

 

කර්‍මප්‍ර‍ත්‍යය චිත්තසමුත්‍ථාන නම් විපාක චිත්තයෙන් උපන් රූපය යි.

 

කර්‍මප්‍ර‍ත්‍යය ආහාරසමුත්‍ථාන නම් කර්‍මසමුත්‍ථාන රූපයන්හි පවත්නා ඔජාව අනෙක් ඔජඨමක රූපයක් උපදවයි. ඒ කර්‍ම සමුත්‍ථාන වූ ද, ආහාර සමුත්‍ථාන වූ ද, ඕජාව අනෙක් ඔජඨමක රූපයක් උපදව යි. මෙසේ සදෘශ සන්තති වශයෙන් සතරක් හෝ පහක් රූප කලාප ඝටනා කෙරෙයි.

 

කර්‍මප්‍ර‍ත්‍යය සෘතුසමුත්‍ථාන නම් :- කර්‍මජ තෙජො ධාතුව තැන්පත් වූයේ උතුසමුඨාන ඔජඨමක රූපකලාපය උපදව යි. ඒ උතුසමුඨානයෙහි ද සෘතුව (තෙජො ධාතුව) අනෙක් ඔජඨමකයක්දැ යි මෙසේ සමාන සන්තති වශයෙන් රූපකලාප සතරක් පහක් උපදවා මෙසේ පළමුකොට කර්‍මජ රූපයන් ගේ නිපැත්ම බැලිය යුතු.

 

කර්‍මජ තෙජොධාතුව නම් :- ආහාරාදිය දිරවන උෂ්ණය යි.

 

චිත්තජ රූපයන් අතුරෙහිදු - චිත්තය, චිත්තසමුත්‍ථානය, චිත්තප්‍ර‍ත්‍යය, චිත්තප්‍ර‍ත්‍යයආහාරසමුත්‍ථානය, චිත්තප්‍ර‍ත්‍යය, සෘතුසමුත්‍තානය යි මෙසේ විග්‍ර‍හ දතයුතු.

 

එහි චිත්ත නම් :- එකුන් අනූ (89) චිත්තයෝ යි. ඔවුනතුරින් දෙතිස් චිත්ත කෙනෙක් - රූප - ඊර්‍ය්‍යාපථ විඥප්ති යන මොවුන් උපදවති. සවිසි (24) සිත් කෙනෙක් රූප - ඊර්‍ය්‍යාපථ උපදවති. එකුන් විසි (19) සිත් කෙනෙක් රූප උපදවති. සොළොස් (16) සිත් කෙනෙක් තුනම නූපදවත්.

 

විස්තර :- කාමාවචර කුසල් අට යැ. අකුසල් දොළොස යැ, (මහා ක්‍රියා අට යැ, මනොද්වාරාවර්‍ජන යැ, හසිතොත්පාද යැ,) ක්‍රියා දශ යැ, පඤ්චමධ්‍යාන කුශල ක්‍රියා-දෙක ය යන මේ සිත් දෙතිස (32) රූප ද, ගමනාදි ඉරියවු ද, කාය-වාග් විඥප්ති ද, උපදවයි.

 

රූපාවචර කුසල් හා ක්‍රියා සිත් දෘශ ය, අරූපාවචර කුසල් ක්‍රියා අට ය, ලොකොත්තර සිත් අට යැ, යන මේ සවිසි (26) සිත් රූප ද, ඉරියව් ද, උපදවයි. (විඥප්ති නූපදවයි.)

 

කාමාවචර මහා විපාක අට හා සන්තීරණ දෙක යැ, රූපාවචර විපාක පස යැ, (සම්පටිච්ඡන දෙක හා පඤ්චද්වාරාවර්‍ජනය) මනොධාතු ත්‍රික යැ, සොම්නස් සහගත සන්තීරණ යැ යන එකුන්විසි (19) සිත් රූප උපදව යි. (ඊර්‍ය්‍යාපථ විඥප්ති නූපදව යි) දෙපස් (10) විඤ්ඤාණය, ප්‍ර‍තිසන්ධි චිත්තය, රහතුන් ගේ චුති චිත්තය, අරූප විපාක සතර ය යන සොළොස් (16) සිත් රූප ද, ඉරියවු ද, විඥප්ති ද නූපදවයි.

 

විශෙෂ :- දෙපස් විඤ්ඤාණ සර්‍ව දුර්‍වල හෙයින් ද, ප්‍ර‍තිසන්ධි චිත්තය වස්තු දුර්‍වල හෙයින් ද රූප නූපදවයි.

 

මේ සිත් අතුරින් රූප උපදවන සිත් උත්පාද ක්‍ෂණයෙහි ම රූප උපදව යි. ස්ථිති ක්‍ෂණයෙහි හෝ භඞ්ග ක්‍ෂණයෙහි හෝ රූප නූපදවයි. දුර්‍වල හෙයිනි. උත්පාද ක්‍ෂණයෙහි අනන්තර ප්‍ර‍ත්‍යය ලැබීමෙන් සිත බලවත් වේ.

 

ප්‍ර‍තිසන්ධි චිත්තයා ගේ උත්පාද ක්‍ෂණයෙහි උපන් රූපය ප්‍ර‍තිසන්ධි චිත්තයෙන් මතු සොළොස් (16) වන චිත්තය සමග නිරුද්ධ වේ. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ ස්ථිති ක්‍ෂණයෙහි උපන් රූපය සතළොස් (17) වන චිත්තයා ගේ ස්ථිති ක්‍ෂණයට පැමිණ නිරුද්ධ වේ.

 

සංසාර ප්‍ර‍වෘත්තිය හෝ චිත්ත ප්‍ර‍වෘත්තිය හෝ ඇති තාක් මෙසේ මැ යි.

 

චිත්තජ රූප නම් :- සද්ද නවකය, කාය-වාග් විඥප්ති දෙක ය, පරිච්ඡෙද රූප ය, ලහුතා - මුදුතා - කම්මඤ්ඤතා (විකාර) රූපය, උපචය - සන්තති යන දෙක දැයි සතළොස් (17) රූප චිත්ත සමුට්ඨානයෝ යි

 

චිත්ත ප්‍ර‍ත්‍යය කොට ඇති රූප නම් “පච්ඡා ජාතා චිත්තා චෙතසිකා ධම්මා පුරෙඡාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාත පච්චයෙන පච්චයො”[758] ‘පසු වැ උපන් චිත්ත - චෛතසික ධර්‍ම පළමු උපන් මේ ශරීරයට පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ’ යනාදීන් කියන ලද චතු සමුඨානික රූපය යි.

 

චිත්ත ප්‍ර‍ත්‍යය කොට ඇති ආහාර සමුත්‍ථාන රූප නම් :- චිත්ත් සමුඨාන රූපයන්හි ස්ථිතියට පැමිණි ඕජාව අනෙක් ඕජඨමකයක් උපදවයි. මෙසේ දෙ තුන් ප්‍ර‍වෘත්තියක් ගළප යි.

 

චිත්ත ප්‍ර‍ත්‍යය කොට ඇති සෘතු සමුත්‍ථාන නම් :- සිතින් උපන් රූපය ස්ථිති ප්‍රාප්ත වූයේ අනෙක් ඕජට්ඨමකයක් උපදවයි. මෙසේ දෙතුන් ප්‍ර‍වෘත්තියක් ඝට යි මෙසේ චිත්තජ රූපයන් ගේ උත්පත්තිය දත යුතු.

 

ආහාරජ රූප විෂයෙහිදු (1) ආහාරය ද, (2) ආහාර සමුත්‍ථානය ද, (3) ආහාර ප්‍ර‍ත්‍යය ද, (4) ආහාර ප්‍ර‍ත්‍යය ආහාර සමුත්‍ථානය ද, (5) ආහාර ප්‍ර‍ත්‍යය සෘතු සමුත්‍ථානය යි මේ විභාග දත යුතු.

 

මෙහි (1) ආහාර න්ම :- කබලීකාරාහාරය යි.

 

(2) ආහාර සමුත්‍ථාන නම් :- උපාදින්නක වූ කර්‍මජ රූප ප්‍ර‍ත්‍යය ලැබ ඒ කර්‍මජ රූපයෙහි පිහිටා ස්ථිති ප්‍රාප්ත ඕජව විසින් උපදවන ලද ඕජට්ඨමක රූපය ද, ආකාසධාතුව ද, ලහුතා - මුදුතා - කම්මඤ්ඤතා රූප ද, උපචය, සන්තති රූප දැ යි තුදුස් (14) වැදෑරුම් රූපය යි.

 

(3) ආහාර ප්‍ර‍ත්‍යය නම් :- “කබලීකාරාහාරය මේ රූප කයට ආහාර ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ” ය යි මෙසේ කියන ලද චතුසමුට්ඨාන රූපය යි.

 

(4) ආහාර ප්‍ර‍ත්‍යය ආහාර සමුත්‍ථාන නම් :- “ආහාර සමුට්ඨාන රූප විෂයෙහි තැන්පත් වූ ඕජාව අනෙක් ඕජට්ඨමක රූපයක් උපදවා යැ”යි මෙසේ දස-දොළොස් වරෙක ප්‍ර‍වෘත්තිය ගළපයි. මේ ආහාර ප්‍ර‍ත්‍යය ආහාර සමුත්‍ථානය යි.

 

එක් දවසක් වැළඳූ ආහාරය සත් දවසක් මුළුල්ලෙහි මේ ශරීරයට උපස්තම්භක වේ. මව බුදින ලද ආහාර දරුවාගේ සිරුරෙහි පැතිරැ රූප උපදව යි. සිරුරෙහි ගැල්වූ ආහාරය ද රූප උපදවයි.

 

කර්‍මයෙන් උපන් ආහාරය උපාදින්නක ආහාරය නමි. හෙද තැන්පත් වූයේ රූප උපදවයි. උපාදින්නක ආහාරයෙහි ඕජාව ද අනෙක් රූපයක් උපදවා යැ යි මෙසේ සතර-පස් ප්‍ර‍වෘත්තියක් ගළප යි.

 

(5) ආහාර ප්‍ර‍ත්‍යය සෘතු සමුත්‍ථාන නම්:- ආහාර ප්‍ර‍ත්‍යයයෙන් නිපන් තෙජො ධාතුව තැන්පත් වූවා සෘතුසමුත්‍ථාන වූ ඕජට්ඨමක රූපය උපදවා. (ඒ වනාහි උතුපච්චය ආහාරය මෙන් දස-දොළොස් වාරයෙක රූපකලාප ඝටනාව වේ ය යි ටීකා හි කී.)

 

විස්තර:- මේ ආහාර ප්‍ර‍ත්‍යය සෘතුසමුත්‍ථාන රූප විෂයෙහි ආහාරය ආහාර සමුත්‍ථාන රූපයන්ට ජනක ප්‍ර‍ත්‍යය වේ. සෙසු කර්‍ම-චිත්ත-සෘතු-සමුත්‍ථාන රූපයන්ට නිස්සය-ආහාර-අත්‍ථි-අවිගත ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.

 

විශේෂ:- ආහාරයන්ගේ නිඃශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය භාවය පට්ඨානයෙහි නැති. එහෙත් ‘ආහාර ප්‍ර‍ත්‍යයයෙන් පවත්නා රූපයට ආහාර නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය නම් වේ’ යයි සුත්‍රාන්තිකයින් කියන ලදැ යි දත යුතු. මත්තෙහි උතුනිස්සය දැක්වීමෙහි ද මේ ක්‍ර‍මය මැ යි. මේ ආහාරජ රූපයන් ගේ නිපැත්ම යැ.

 

සෘතුජ රූපයන් අතුරෙනුදු (1) සෘතු ද, (2) සෘතුසමුත්‍ථාන ද, (3) සෘතුප්‍ර‍ත්‍යය ද, (4) සෘතු ප්‍ර‍ත්‍යය සෘතු සමුත්‍ථානය ද, (5) සෘතුප්‍ර‍ත්‍යය ආහාර සමුත්‍ථාන ද යන මේ විභාගය දත යුතු.

 

(1) මෙහි සෘතු නම්:- කර්‍මාදි චතුඃසමුත්‍ථාන තේජෝ ධාතු යැ හෙද උෂ්ණ සෘතුය, ශීත සෘතුයැ යි දෙ ආකාර වේ. ශීත-උෂ්ණ යනු එකම තේජෝධාතුහු ගේ අඩු-වැඩි බවයි.

 

(ස්පර්‍ශ වූවහු ගේ ශරීර උෂ්ණයට වඩා අඩු වූයේ ශීතය යි ද, එයට වැඩි වූයේ උෂ්ණය යි ද සම්මත යි.)

 

(2) සෘතුසමුත්‍ථාන නම්:- (කර්‍මාදි) චතුඃසමුත්‍ථාන වූ සෘතුව උපාදින්නක ප්‍ර‍ත්‍යය ලැබ ස්ථාන ප්‍රාප්ත වූයේ ශරීරයෙහි රූප උපදව යි.

 

විශේෂ:- සෘතු සමුත්‍ථාන සෘතුව (තේජෝධාතුව) උපාදින්නක නො වූයේ ද රූප උපදව යි. එහෙත් මෙහි ‘ඉන්‍ද්‍රියබද්ධ සෘතුහු ගේ උපාදින්නකයෙන් වෙන්වැ රූප ඉපදවීමක් නැති හෙයින් උපාදින්නක ප්‍ර‍ත්‍යය ලැබයැ යි කියන ලදි. ටීකා)

 

ඒ සෘතුසමුත්‍ථාන රූප ය - සද්ද නවක කලාප යැ, ආකාස ධාතු යැ, ලහු තා - මුදුතා - කම්මඤ්ඤතා යැ, උපචය-සන්තති-රූපයැ යි පසළොස් (15) වැදෑරුම් වේ.

 

(3) සෘතුප්‍ර‍ත්‍යය නම්:- සෘතුව (තේජෝධාතුව) කර්‍මාදි චතුස්සමුත්‍ථානික රූපයන් ගේ පැවැත්මට ද, විනාශයට ද ප්‍ර‍ත්‍යය වේ. පෙර කී පසළොස් (15) වැදෑරුම් සෘතුසමුත්‍ථාන රූපයට ද, අන්‍ය වූ කර්‍මාදීන් උපන් රූපයට දයන සභාග රූපයට සභාග සෘතුව උපස්තම්භක ප්‍ර‍ත්‍යය වේ. ‘විෂභාග සෘතුව තමාට සුදුසු රූප ඉපදවීමේදී පෙර පැවැති රූප විනාශ කරන්නාක් මෙන් වේ.’ (යනු ටීකායි.)

 

(4) සෘතු ප්‍ර‍ත්‍යය සෘතු සමුත්‍ථාන නම්:- සෘතුවෙන් හටගත් තේජෝ ධාතුව සථිති ප්‍රාප්ත වූවා අනෙක් ඕජාෂ්ටකයක් උපදව යි. එහි සෘතුව ද අනෙක් ඕජාෂ්ටමක රූපයක්දැ යි මෙසේ දීර්‍ඝ කාලයක් අනුපාදින්න පක්‍ෂයෙහි සිට ද සෘතු සමුත්‍ථානය පවතී මැයි.

 

විස්තර:- අන් තන්හි කී පරිදි දස- දොළොස් වාරයට ද වඩා දීර්‍ඝ කාලයක් සෘතුන් ගෙන් සභාග සන්තති වශයෙන් ප්‍ර‍ත්‍යය ලැබ උපාදින්නකයන් ඇසුරින් ද සදෘශ රූප පරම්පරාව පවත්වයි. මෙහි “අනුපාදින්නක පක්‍ෂයෙහි සිටයැ” යි කීයේ මසින් වෙන් වූ- කෙස්- ලොම්- නිය- ඉනි- තලකැලල් ආදී වශයෙන් ජීවමාන ශරීරයෙහි ද, මෘත ශරීරයෙහි ද, උපදවන හෙයිනි. (ටීකා)

 

(5) සෘතු ප්‍ර‍ත්‍යය ආහාර සමුත්‍ථාන නම්:- සෘතුවෙන් උපන් ස්ථාන ප්‍රාප්ත තේජෝ ධාතුවෙහි ඕජාව අන්‍ය වූ ඕජාෂ්ටමක රූපයක් උපදව යි. එහි ඕජාව ද අන්‍ය ඕජාෂ්ටමකයක් දැයි මෙසේ දස-දොළොස් වාරයෙකැ ප්‍ර‍වෘත්තිය ගළප යි.

 

ඒ රූප කලාපයෙහි සෘතුව (තේජෝ ධාතුව) සෘතු සමුත්‍ථාන රූපයනට ජනක ප්‍ර‍ත්‍යය වේ. සෙසු කර්‍මාදීන් සමුත්‍ථාන රූපයනට නිඃශ්‍ර‍ය- අසති- අවිගත වශයෙන් ප්‍ර‍ත්‍යය වේය යි මේ සෘතුජ රූප හට ගැනීම දැක්ක යුතු යි.

 

විශේෂ:- මෙසේ රූපයන් ගේ හට ගැනීම දක්නේ කලෙකැ රූප සන්මර්‍ශනය කෙරේය යි කියනු ලැබේ. තව ද රූපයන් ගේ හටගැනීම දක්නේ ක්‍ෂණික වැ රූපය විනාශ වන හෙයින් විනාශයද දකී. එහෙයින් උදය-ව්‍යය දැකීම වේ.

 

රූප සන්මර්‍ශනය කරන්නා රූපයන් ගේ හට ගැනීම දක්නා සෙ අරූප සන්මර්‍ශනය කරන්නා අරූපයන් ගේ හට ගැනීම ද දැක්ක යුතු ය.

 

ඒ වූ කලී එක් අසූ (81) ලෞකික චිත්තයන් ගේ වශයෙන් මැයි. (ලොකොත්තර සිත් අට මෙයට විෂය නොවේ.)

 

විස්තර:- මෙහි නාම නම් පූර්‍ව භවයෙහි රැස් කරන ලද කුශල-අකුශල කර්‍ම වශයෙන් මහා විපාක අට යැ, මහද්ගතවිපාක (රූපා‘රූප) නව යැ, උපෙක්ඛාසහගත සන්තීරණ දෙක යැ යන මේ එකුන් විසි (19) විපාක සිත් ප්‍ර‍තිසන්‍ධියෙහි ඒ ඒ භව වශයෙන් උපදී. (ඒ උපදනා ආකාරය පටිච්චසමුප්පදාන නිර්‍දෙශයෙහි කී පරිදි දතයුතු) ඒ එකුන් විසි චිත්තය ම ප්‍ර‍තිසන්‍ධි චිත්තයට අනතුරු චිත්තයෙහි පටන් භවාඞ්ග වශයෙන් ද, ආයුෂ කෙළවර චුති වශයෙන් ද උපදී. ඔවුනතුරින් කාමාවචර විපාක චිත්තය චක්‍ෂුරාදී පඤ්චද්වාරයෙහි (බලවත්) අතිමහන්තාලම්බනයෙහි ද, මනොද්වාරයෙහි විභූතාලම්ඛනයෙහි ද මහා විපාක අට යැ, සන්තීරණ තුන යැ යන එකොළොසින් (11) එකක් තදාලම්බන වශයෙන් ද පවතී.

 

ප්‍ර‍වෘත්ති කාලයෙහි චක්‍ෂුඃප්‍ර‍සාදය නො නට හෙයින් ද, රූප ආලම්බන වීමෙන් ද ආලෝකය ඇසුරු කොට පැවති (පඤ්චචාරාවජ්ජන) මනසිකාරය හේතු කොට ඇති චක්ඛුවිඤ්ඤාණ චිත්තය සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් සමග උපදී.

 

උපදනා රූපය හා නිරුද්ධවන රූපය ද, කිසිවකට ප්‍ර‍ත්‍යය නො වන හෙයින් සථිති ප්‍රාප්ත වූ ම රූපාලම්බනය ගැටේ. ඒ ගැටුණු කල දෙවරෙකැ (භවාඞ්ගචලනඋපච්ඡේද වශයෙන්) භවාඞ්ගය ඉපිද නිරුද්ධ වේ. අනතුරුවැ එම ආලම්බනයෙහි ම ක්‍රියා මනොධාතුව (පඤ්චචාරාවජ්ජනය) ඒ රූපාලම්බනයෙහි ම ආවර්‍ජන කෘත්‍යය සාධමින් උපදී. අනතුරුවැ එම රූපය ම බලමින් කුසල විපාක වූ හෝ අකුසල විපාක වූ හෝ චක්ඛු විඤ්ඤාණ චිත්තය ද, අනතුරුවැ ඒ රූපය පිළිගනිමින් විපාක මනොධාතුව (සම්පටිච්ඡන චිත්තය ද) උපදී.

 

අනතුරු වැ ඒ රූපය ම මනා කොට තීරණය කරමින් විපාක අහේතුක මනොවිඤ්ඤාණධාතුව (සන්තීරණ චිත්තය) ද, අනතුරු වැ එම රූපාලම්බනය ම විනිශ්චය කරමින් උපෙක්ඛා සහගත ක්‍රියා අහේතුක මනොවිඤ්ඤාණධාතුව (උපෙක්ඛා සහගත මනොද්වාරාවර්‍ජනය) ද උපදී. අනතුරුවැ කාමාවචර කුශල-අකුශල ක්‍රියා චිත්තයන් අතුරින් එක් සිතක් මුර්ඡාදි-කාල-මරණාසන්න කාලයන්හි පස් වරක් හෝ ප්‍ර‍කෘති කාලයෙහි සත්වරක් හෝ දෙවෙනි (මොඝ) වාර වශයෙන් ද උපෙක්ඛා සහගත අහේතුක (උපෙක්ඛා සහගත මනොද්වාරාවර්‍ජන) චිත්තය හෝ ජවන වශයෙන් උපදී. අනතුරුවැ කාමාවචර සත්ත්‍වයනට යට කී එකොළොස් තදාරම්මණ චිත්තයන් අතුරින් ජවනයනට සුදුසු සේ යම් කිසි චිත්තයක් තදාරම්මණ වශයෙන් උපදී. සෙසු සෝතාදි සිවු දොරෙහි ද මේ ක්‍ර‍මය මැ යි.

 

විශේෂ:- මනොද්වාරයෙහි මහද්ගත (රූපා‘රූප) චිත්ත ද උපදී. මෙසේ සදොරෙහි චිත්ත ප්‍ර‍වෘත්තිය දැක්ක යුතු. මෙසේ අරූපයන් ගේ ඉපදීම බලන්නා වූ යෝගාවචර තෙමේ කලෙකැ අරූප සන්මර්‍ශනය කෙරේ. මෙසේ කලෙකැ රූප ද, කලෙක අරූප ද නුවණින් විමසා ත්‍රිලක්‍ෂණයට නගා උදය- ව්‍යය ඥානානුක්‍ර‍මයෙන් පිළිපදනේ ප්‍ර‍ඥාභාවනාව සම්පාදනය කෙරේ.

 

අනෙක් යෝගාවචරයෙක් රූප සප්තක-අරූප සප්තක වශයෙන් ත්‍රිලක්‍ෂණයට නගා සංස්කාර ධර්‍මයන් සන්මර්‍ශනය කෙරේ.

 

ඉන් රූප සප්තකය:-

 

1.  ආදානනිකේඛප රූප වශයෙන්

2.  චයොවුද්ධන්‍ථ ගමන රූප ”

3.  ආහාරමය රූප           ”

4.  සෘතුජ රූප              ”

5.  කර්‍මජ රූප               ”

6.  චිත්තසමුත්‍ථාන රූප ”

7.  ධර්‍මතා රූප              ”

සත් පරිද්දෙන් විදර්‍ශනාවට නගයි.

 

1. එහි අදාන නම් ප්‍ර‍තිසන්‍ධි යැ, නික්‍ෂෙප නම් චුතියයි. යෝගාවචර තෙමේ මෙසේ ආදාන නික්ඛේප වශයෙන් හවුරුදු සියයක් (100) පිරිසිඳ සංස්කාර ත්‍රිලක්‍ෂණයට ආරෝපණය කෙරේ.

 

ඒ මෙසේ යි:- ප්‍ර‍තිසන්‍ධි - චුති අතරැ පැවැති සියලු සංස්කාර (රූප) යො උත්පාද- නිරුද්ධ වශයෙන් පවත්වා හෙයින්ද, ජරා-මරණ දෙකින් පෙරළෙන හෙයින්ද තාවකාලික (ක්‍ෂණික) හෙයින් ද, නිත්‍ය ස්වභාවයෙන් නො පවත්නා හෙයින් ද අනිත්‍යයි.

 

උපන් සංස්කාර ස්ථිතියට පැමිණෙන හෙයින් ද, ස්ථිතියෙහි පැවති සංස්කාර ජරාවෙන් (දිරීමෙන්) පීඩිතවන හෙයින් ද, ජරාවට පැමිණි සංස්කාර ඒකාන්තයෙන් බිඳෙන හෙයින් දැ යි මෙසේ නිරතුරු වැ පෙළෙන හෙයින් ද, ඉවසීමට දුෂ්කර හෙයින් ද, සසර දුකට පිහිටවන හෙයින් ද, සැපයට ප්‍ර‍තිපක්‍ෂ හෙයින් ද දුක් වේ.

 

විශේෂ අර්‍ථයෙකි:- ‘උපන් සංස්කාර ස්ථිතියට නො පැමිණෙත්වා ස්ථිතියට පැමිණියාහු නො දිරත්වා, දිරුවාහු නො බිඳෙත්වා, යි මෛස් මෙකී ස්ථිති-ජරා-භෙද (අවස්ථා තුනෙකි) කිසිවකු ගේ වශයෙහි නො පවත්නා හෙයින් ශුන්‍යයි. එසේ ශුන්‍ය හෙයින් ද, වශයෙහි නො පවත්නා හෙයින් ද, ස්වාමි වූවක්හු නැති හෙයින් ද, වශයෙහි පවත්නකු නැති හෙයින් ද, පර පරිකල්පිත ආත්මයක් නැති හෙයින් ද අනාත්ම යි. මෙසේ අදාන - නිඛේප වශයෙන් සියක් (100) වසකින් පරිච්ඡේද කළ රූපය අනිත්‍ය - දුඃඛ - අනාත්ම හෙයින් ත්‍රිලක්‍ෂණයට නගයි.

 

2. වයොවුද්ධන්‍ථ ගමන වශයෙන් ආරෝපණය කෙරේ. ඒ වනාහි වයස් වශයෙන් වැඩුණු රූපයා ගේ අස්තඞ්ගමය බැලීම් වශයෙන් ත්‍රිලක්‍ෂණයට නැගීම යි.

 

ඒ මෙසේයි:- ඒ යෝගීතෙමේ එම අවුරුදු සියය ප්‍ර‍ථම වයස යැ, මධ්‍යම වයස යැ, පශ්චිම වයස යැ යි තුන් වයසින් පිරිසිඳී. එහි මුල තෙතිස් (33) වස ප්‍ර‍ථම වයස යැ, මැද සුතිස් (34) වස මධ්‍යම වයස යැ. අග තෙතිස් (33) වස පශ්චිම වයස යි.

 

මෙසේ තුන් වයසින් පිරිසිඳ ‘ප්‍ර‍ථම වයසෙහි පැවැති රූපය මධ්‍යම වයසට නො පැමිණ එහි ම නිරුද්‍ධ වේ.’ ‘එහෙයින් ඒ රූපය අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් ඒ දුක යැ. යමක් දුක් නම් ඒ අනාත්ම යැ යි’ විදර්‍ශනා වඩ යි.

 

මධ්‍යම වයස්හි පැවති රූපය ද පශ්චිම වයසට නො පැමිණ එහි ම නිරුද්‍ධ වේ. එහෙයින් එද අනිත්‍ය යැ, දුක් යැ, අනාත්ම යැ යි විදර්‍ශනා කෙරේ. පශ්චිම වයස්හි පැවති රූපය ද මරණයෙන් මත්තෙහි යාමට සමර්‍ථයකු නැති හෙයින් හෙද අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යැ යි ත්‍රිලක්‍ෂණයට නග යි. මෙසේ තුන් වයසින් වයෝවුදධන්‍ථ ගමන වශයෙන් ත්‍රි ලක්‍ෂණයට නඟා නැවතැ:-

 

“මන්‍දා ඛිඩ්ඩා ච වණ්ණා ච - බලා පඤ්ඤා ච හායනා,

පබ්හාරා ච පවඞ්කා ච - මොමුහා සයනා දස” යී

 

(1) මන්‍ද දශක, (2) ක්‍රීඩා දශක, (3) වර්‍ණ දශක, (4) බල දශක, (5) ප්‍ර‍ඥා දශක, (6) හායනදශක, (7) පබ්හාර දශක, (8) ප්‍ර‍වඞ්ක දශක, (9) මොමුහු දශක, (10) ශයන දශක යන මේ දශක වශයෙන් වයොවුද්ධන්‍ථ ගමන වශයෙන් තිලකුණට නග යි.

(1) එහි හවුරුදු සියයක් (100) ජීවත් වන්නහු ගේ මුල දස හවුරුද්ද මන්‍ද දශකයයි, එකල හේ මන්‍ද-චපල කුඩා ළදරුවෙක් වේ.

 

(2) ඉක්බිති හේ බෙහෙවින් ක්‍රීඩාවෙහි ඇලෙන හෙයින් ක්‍රීඩා දශකයට පැමිණේ.

 

(3) අනතුරු වැ හේ ශරීර වර්‍ණය ප්‍ර‍සන්න වැ වර්‍ණවත් බවට පැමිණෙන හෙයින් වර්‍ණ දශකයට පැමිණේ.

 

(4) අනතුරු වැ හේ ශරීර ශක්තියෙන් වැඩී දැඩී බවට පැමිණෙන හෙයින් බල දශකයට පැමිණේ.

 

(5) එයින් මතු ඔහුට නුවණ ස්ථිර වැ පිහිට යි. ස්වභාවයෙන් නුවණ නැත්තාට ද එකල මඳ වූ ද නුවණ උපදී. ඒ ප්‍ර‍ඥා දශකය යි.

 

(6) ඉන් මතු පෙර කී දෑ පිරිහෙන හෙයින් පරිහානි දශකය යි.

(7) අනතුරු වැ ඔහුගේ සිරුර ඉදිරියට නැමීමෙන් පබ්හාර දශකයට පැමිණේ.

(8) අනතුරු වැ ඔහුගේ සිරුර නගුල් කොනක් සේ වක්වන හෙයින් ප්‍ර‍වඞ්ක දශකයට පැමිණේ.

(9) පසු වැ ඔහු ගේ සිහි - නුවණ පිරිහී මුළාවන හෙයින් මොමුහු දශකයට පැමිණේ.

(10)    අවසන්හි හේ නිතර ශයන පරායන හෙයින් ශයන දශකයට පැමිණේ.

 

ඒ යෝගී තෙමේ මේ දශ-දශක වශයෙන් වයො වුද්ධත්‍ථ ගමනයෙන් ත්‍රිලක්‍ෂණයට නඟනු පිණිස මෙසේ සලකයි. ප්‍ර‍ථම මන්‍ද දශකයෙහි පැවති රූප දෙවෙනි දශකයට නො පැමිණ එහිම නිරුද්ධ වෙයි. -පෙ- නවම දශකයෙහි පැවති රූප දශම දශකයට නො පැමිණ එහිම නිරුද්ධ වෙයි. දශම දශකයෙහි පැවති රූප දෙවන භවයට නො ගොස් මෙහි ම නිරුද්‍ධ වෙයි. එබැවින් එයද අනිත්‍ය යැ, දුක් යැ, අනාත්මයැ යි ත්‍රිලක්‍ෂණයට නඟ යි. මෙසේ දශක වශයෙන් වයොවුද්ධත්‍ථි ගමනයෙන් ත්‍රිලක්‍ෂණයට නග යි.

 

නැවැත එම වර්‍ෂ සියයම (100) වර්‍ෂ පඤ්චක වශයෙන් විසි (20) කොටසකට බෙදා වයෝවුද්ධනථ ගමන වශයෙන් ත්‍රිලක්‍ෂණයට නඟ යි.

 

ඒ මෙසේයි:- පළමු පස් වසෙහි පැවති රූප දෙවෙනි පස් වසට නො පැමිණ එහි ම නිරුද්ධ වෙයි. එහෙයින් එය අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යි. දෙවෙනි පස්වසෙහි පැවති රූපය තුන්වැනි -පෙ- එකුන් විසිවැසි (19) පස් වසෙහි පැවති රූපය, විසිවැනි (20) පස් වසට නො ගොස් එහි ම නිරුද්ධ වේ. විසිවැනි පස් වසෙහි පැවති රූප මරණයෙන් මතු යාමට අසමර්‍ථ යැ. එහෙයින් එය ද අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යි. මෙසේ විසි (20) කොටස් වශයෙන් වයොවුද්ධන්‍ථ ගමනයෙන් ත්‍රිලකුණට නග යි. නැවැතැ තෙතිස් (33) කොටසක් කොට අවුරුදු තුන-තුන වශයෙන් ද, පනස් (50) කොටස් කොට අවුරුදු දෙක-දෙක වශයෙන්, සියක් (100) කොටස් කොට එක්-එක් වර්‍ෂය වශයෙන් ද, එක් අවුරුද්දක් වස්සාන හේමන්ත ගිම්හාන වශයෙන් තුන් කොටසක් කොට එක එක සෘතු වශයෙන් වස්සාන සෘතුවෙහි සිව් මස පැවති රූපය හේමන්ත සෘතුවට නො පැමිණ එහි ම නිරුද්ධ විය. හේමන්තයෙහි පැවති රූපයට ගිම්හාන සෘතුවට නො පැමිණ එහි ම නිරුද්ධ විය. එහෙයින් එය අනිත්‍ය යැ. දුක යැ, අනාත්ම යැ යි ත්‍රිලක්‍ෂණයට නඟ යි. නැවැතැ එක් වසක් ෂට් සෘතු වශයෙන් සය කොටසක් කොට වස්සානයෙහි දෙමස පැවති රූපය සරදයට නො පැමිණ එහි ම නිරුද්ධ විය. සරදයෙහි පැවති රූපය හේමන්තයට ද, හේමන්තයෙහි පැවති රූපය සිසිරයට ද, සිසිරයෙහි පැවති රූපය වසන්තයට ද, වසන්තයෙහි පැවති රූපය ගිම්හයට ද, ගිම්හයෙහි පැවති රූපය නැවැතැ වස්සානයට ද, නො පැමිණ එහිම නිරුද්ධ විය. එහෙයින් අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්මයැ යි මෙසේ ත්‍රිලක්‍ෂණයට නගයි. නැවැත එක් මසක් කාළ පක්‍ෂ- ශුක්ල පක්‍ෂ වශයෙන් ගෙන කාල පක්‍ෂයෙහි පැවති රූපය ශුක්ල පක්‍ෂයට නොපැමිණ එහි ම නිරුද්ධ වී යැ යි ත්‍රිලක්‍ෂණයට නග යි.

 

නැවැතැ එක් දවසක් රෑ-දාවල් වශයෙන් බෙදා රෑ පැවැති රූපය දවාලට නොපැමිණ එහි ම නිරුද්ධ විය. දහවල් පැවති රූපය රැයට නො පැමිණ එහි ම නිරුද්ධ විය. එහෙයින් අනිතයය දුඃඛ අනාත්මයැ යි තිලකුණට නග යි. අනතුරුවැ ඒ රෑ-දාවල් ද පූර්‍වාහ්නාදී වශයෙන් ස කොටසක් කොට පෙරවරු පැවති රූ, මධ්‍යාහ්නයට නො පැමිණ මධ්‍යාහ්නයෙහි පැවති රූ සායාහ්නයට නො පැමිණ - සායහ්නයෙහි පැවති රූ පෙරයමට නො පැමිණ - පෙරයම පැවැති රූ මැදියමට නො පැමිණ - මැදියම පැවති රූ පසුයමට නො පැමිණ එහි ම නිරුද්ධ වේයැ යි තිලකුණට නග යි.

 

නැවත එම රූපය ම ඉදිරියට යාම යැ, පෙරළා ඊම යැ, ඉදිරිපස බැලීම යැ, අවට බැලීම යැ, අත් පා හැකිලීම යැ, දිග හැරීම යැ යන මොවුන් ගේ වශයෙන් ද සලකයි. ඉදිරියට යාමෙහි පැවති රූපය පෙරළා ඊමට නො පැමිණ එහි ම නිරුද්ධ විය. අත් පා හැකිලීමෙහි පැවති රූපය අත් පා දිග හැරීමට නො පැමිණ එහි ම නිරුද්ධ විය. එහෙයින් අනිත්‍ය යැ, දුක යැ, අනාත්මයැ යි තිලකුණට නග යි.

 

නැවැතැ ගමනෙහි දී එක් පියවරක් උද්ධරණ - අතිහරණ - වීතිහරණ - වොස්සජන - සන්නික්ඛෙපන සන්නිරුම්භන වශයෙන් සය (6) කොටසක් කෙරේ.

 

විස්තර:- පය භූමියෙන් නැඟීම උද්ධරණ නම්, පය ඉදිරියට යැවීම අතීහරණ නමි, කණු-කටු සර්‍පාදීන් ගෙන් කිසිවක් දැක පය ඔබිනොබ යැවීම වීතිහරණ නමි. පය යටට හෙළීම වොස්සජන නමි. පොළොවෙහි පා තැබීම සන්නික්ඛේපන නමි. දෙවන පය උදුරන කලැ පෘථිවිය සමඟ පෙළීම සනින්රුම්භන නමි.

 

ඔවුනතුරින් පා උද්ධරණයෙහි පඨවි - ආපෝ ධාතුවය හීන වූවා වෙ යි. සෙසු තේජෝ - වායෝ ධාතුව වැඩිවැ බලවත් වේ. අතීහරණ, වීතිහරණ යන්හි ද එසේ මැ යි.

 

වොස්සජනයෙහි තේජෝ-වායෝ ධාතු ද්ව අඩුවැ හීන වේ. පඨවි-ආපො ධාතු ද්වය අධිකවැ බලවත් වේ. සන්නික්ඛේපන සන්නිරුම්භනයන්හි ද එසේ මැ යි.

 

මෙසේ සය කොටසක් කොට ඔවුන් ගේ වශයෙන් ඒ වයොවුඞ්න්‍ථගම රූපය තිලකුණට නග යි.

 

ඒ මෙසේයි:- පා එසවීමෙහි පැවති ධාතුහු ද, ඔවුන් නිසා පැවති රූප ද යන මේ සියලු ධර්‍මයෝ පා ඉදිරියට එළවීමට නො පැමිණ එහි ම නිරුද්ධ වෙති. එහෙයින් අනිත්‍යය හ. දුඃඛය හ. අනාත්මය හ.

 

එසේම අතිහරණයෙහි පැවැති රූප ධර්‍මයෝ වීතිහරණයට ද -පෙ- සන්නිරුම්භනයට ද, නො පැමිණ එහි ම නිරුද්ධ වෙති.

 

මෙසේ ඒ ඒ තන්හි උපන් රූපයෝ අනෙක් අනෙක් කොටසකට නො පැමිණ ඒ ඒ තන්හී ම පර්‍ව-පර්‍ව වැ සන්‍ධි - සන්‍ධි වැ ඔධි වැ රත්යක බලෙකැ බහාලු තල මෙන් ‘තට-තට’ යන හඬ ඇති වැ මෙන් බිඳෙති. එහෙයින් අනිත්‍යය හ. අනිත්‍යය හෙයින් දුඃඛය හ. දුක් හෙයින් අනාත්මය හ යි. මෙසේ පර්‍ව - පර්‍වගත සංස්කාර විදර්‍ශනා වඩන්නා හට රූප සන්මර්‍ශනය සුඛුම වේ.

 

ඒ සුඛුම බවට මේ උපමාවෙකි:- දරහුළු - තණහුළු ආදියෙහි පුරුදු වූ පහන්සිළු නො දුටු පසල් දනව් වැස්සෙක් නුවර අවුත් ආපනයක් තුළ දැල්වෙන පහනක් දැක, මේ මනාප වූ දැය කිම්දැ යි එක් මිනිසකු විචාළේය. මෙහි මනාප නම් කිම් ද මේ පහන නම. තෙල් හැ වැටිය ක්‍ෂය වීමෙන් මේ පහන ගිය මග පවා නො පැන්නේය යි ඒ මගියාට කී නුවර වැස්සා මෙසේ ද කී. මෙහි ලා ‘මෙද ඖදාරික යැ. මේ වැටිය කෙමෙන් දනු ලබන කලැ තුන්වන - තුන්වන භාගයෙහි දැල්ල අනික් ප්‍රදේශයකට නො පැමිණ නිරුද්ධ වේ. ඔහු මෙසේ ද කී. “මෙද ඖදාරිකයැ” මේ පහන් වැටියෙහි අඟුලක් - අඟුලක් පමණ පෙදෙසහි, අඩ‘ඟුලක් - අඩ‘ඟුලක් පමණ පෙදෙසෙහි, හූයෙහි හූයෙහි, අංශුවෙහි අංශුවෙහි දැල්ල අනෙක් අංශුවකට නො ගොස් නිරුද්ධ වේ. එහෙයින් අංශුව හැර දැල්ලක් පැනවීමට නො හැක්කේ ය යි සිතී. එහි තෙල් අවසන් වීමෙන් හා වැටිය අවසන් වීමෙන් පහන ගිය මාර්‍ගය නොපැන්නේ ය යි පුරුෂයාගේ දැනීම මෙන් යෝගියාගේ ආදාන - නික්ඛේප වසයෙන් සියක් අවුරුද්දෙන් පිරිසිඳින ලද රූපයේ තිලකුණට නැගීමද, පහන් වැටියෙහි තුන්වන - තුන්වන භාගයෙහි දැල්ල අනෙක් අනෙක් ප්‍රදේශයකට නොපැමිණ නිරුද්ධ වන්නේ ය යි පුරුෂයාගේ දැනුම මෙන් ඒ යෝගියා ගේ වර්‍ෂ සියයේ තුන්වන කොටස පිරිසිඳී (වයොවුදධන්‍ථගාමී) රූපය ත්‍රිලක්‍ෂණයට එළවීම වේ.

 

පුරුෂයාගේ අඞ්ගුල අතරෙහි දැනුම මෙන් යෝගීහු ගේ දස වසින් - පස් වසින් - සතර වසින් - තුන් වසින් - දෙ වසින් - එක් වසින් යන මේ නයින් පිරිසිඳින ලද රූපය ත්‍රිලක්‍ෂණයණට එළවීම යි.

 

‘අඩඟුල් - අඩඟුල් අතරැ දැල්ල අනෙක් - අනෙක් අඩඟලකට නො ගොස් නිරුද්ධ වේ, යැයි පුරුෂයා දැනීම මෙන් යොගියා ගේ එක් - එක් සෘතු වශයෙන් එක් වසක් තුනට හෝ සයට බෙදා සිවු මසින් දෙ මසින් පිරිසුන් රූපය තිලකුණට එළවීම දතයුතු.

 

හූයෙහි - හූයෙහි දැල්ල අනෙකකට නො ගොස් නිරුද්ධ වේ යන පුරුෂයා ගේ දැනීම මෙන් යෝගීහු ගේ කෘෂ්ණ - ශුකල පක්‍ෂ වශයෙන් ද, රෑ - දාවල් වශයෙන් ද එක රෑ දාවලක් සකොටසකට බෙදා පූර්‍වාශ්ණාදි වශයෙන් පිරිසුන් රූපය තිලකුණට නැගීම ද, අංශුවෙහි දැල්ල අනෙකකට නො පැමිණ නිරුද්ධ වේ යන පුරුෂයා ගේ දැනුම මෙන් යෝගීහු ගේ අභික්කමාදී වශයෙන් ද, උද්ධරණාදි එක් - එක් කොට්ඨාස වශයෙන් ද, පිරිසුන් රූපය තිලකුණට නැගීම ද දතයුතු.

 

ඒ යෝගී මෙසේ නානා අයුරින් වායොවුද්ධත්‍ථගාමී රූය තිලකුණට නගා නැවත ද එම රූපය විභාග කොට ආහාරමයාදී වශයෙන් සිවු කොටසක් කොට එක් එක් කොටස තිලකුණට නගයි.

 

3. ආහාරමය රූප වශයෙන්:- ආහාරමය රූපය ක්‍ෂුධා සුහිත කාල වශයෙන් ප්‍ර‍කට වේ.

 

ඒ මෙසේ යි:- ක්‍ෂුධා කාලයෙහි උපන් රූප මලානික වේ. ක්ලාන්ත වේ. දා ගිය කනුවක් මෙන් ද, අඟුරු පැසෙක සැඟවුණු කවුඩකු මෙන් ද දුර්වර්ණ වෙයි. නපුරු වැ සිටී. සුභික්‍ෂ (ආහාරයෙන් පිරුණු) කලැ උපන් රූප තෘප්ත වෙයි, ප්‍ර‍ණිත වෙයි, මෘදු වෙයි, සිනිඳු වෙයි, මනා පහස් ඇති වේ.

 

ඒ යෝගී තෙමේ එය පරිග්‍ර‍හ කොට බඩ සා කලැ පැවති රූප බඩ පිරි කලට නො පැමිණ ඒ සා කල ම නිරුද්ධ වේ. බඩ පිරි කලැ පැවැති රූප ද, බඩ සා කලට නො පැමිණ එකල ම නිරුද්ධ වේ. එහෙයින් ඒ රූප අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යැ යි මෙසේ එහි තිලකුණට නගයි.

 

4. සෘතුජ රූප වශයෙන් :- සෘතුජ රූපය ශීත - උෂ්ණ වශයෙන් ප්‍ර‍කට වේ.

 

ඒ මෙසේයි:- උෂ්ණ කාලයෙහි පවත්නා රූප මලානික වේ, ක්ලාන්ත වේ, දුර්‍වණ වේ, ශීත කාලයෙහි පවත්නා රූප තෘප්ත වේ. ප්‍ර‍ණීත වේ, මෘදු වේ. සුව පහස් ඇත්තේ වේ, සිනිඳු වේ. ඒ යෝගී තෙමේ ඒ රූප පරිග්‍ර‍හ කොට උෂ්ණ කාලයෙහි පැවැති රූපය ශීත කාලයට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. ශීත කාලයෙහි පැවති රූපය ද උෂ්ණ කාලයට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. එහෙයින් එය අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යැ යි මෙසේ තිලකුණට නගයි.

 

5. කර්‍මජ රූප වශයෙන් :- කර්‍මජ රූප ආයතන සඞ්ඛ්‍යාත ද්වාර වශයෙන් ද ප්‍ර‍කට වේ.

 

ඒ මෙසේයි:- චක්‍ෂුර්ද්වාරයෙහි, චක්‍ෂුර්‍දශක - කාය දශක - භාව දශක වශයෙන් කර්‍මජ රූප තිසෙක් (30) වේ. ඔවුනට උපස්තම්භක සෘතු - චිත්ත - ආහාර සමුත්‍ථාන ශුද්ධාෂ්ටක තුන - තුන වශයෙන් සූවිසි (24) රූපය දැ යි සූපනසෙක් (54) වේ. ශ්‍රොත්‍ර‍ - ඝ්‍රාණ ජිහ්වා චාරයන් හිද එසේම සුපනස බැගින් වේ.

 

කාය ද්වාරයෙහි කාය භාව දශක වශයෙන්ද, සෘතුසමුත්‍ථානාදී වශයෙන් දැ යි රූප සුසාලිසෙක් (44) වේ. මනෝද්වාරයෙහි හෘදය වස්තු දශකය, කාය දශකය, භාව දශකය යන මොවුන් ගේ වශයෙන් ද සෘතුසමුත්‍ථානාදී වශයෙන් ද සූපනසෙක් (54) ම වේ.

 

(මනොද්වාරය නම් සාවජ්ජන භවාඞ්ග යැ. එයට නිඃශ්‍ර‍ය බැවින් හදවත සඳහා නිඃශ්‍රිත ව්‍යවහාරයෙන් ‘මනෝද්වාරෙ’ යි යූහු. ‘යම් තැනෙක මනෝස්වාරොත්පත්තිය ද හේ මනොද්වාර නමැ යි යනු සත්‍යයි.) ඒ යෝගීතෙමේ ඒ සියලු රූප පරිග්‍ර‍හ කොට චක්‍ෂුර්ද්වාරයෙහි පැවැති රූපය ශ්‍රෝත්‍ර‍ ද්වාරයට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. ශ්‍රෝත්‍ර‍ද්වාරයෙහි පැවැති රූපය ඝ්‍රාණද්වාරයට ද, ඝ්‍රාණද්වාරයෙහි පැවති රූපය ජිව්හාද්වාරයට ද, ජිව්හාද්වරයෙහි පැවැති රූපය කායද්වාරයට ද, කායචාරයෙහි පැවැති රූපය මනෝද්වාරය ද, නො පැමිණ එහි ම නිරුද්ධ වේ. එහෙයින් එය අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යැ යි මෙසේ තිලකුණට නගයි.

 

6. චිත්ත සමුත්‍ථාන වශයෙන්:- චිත්ත සමුත්‍ථාන රූපය සෝමනස්ස - දෝමනස්ස කාලයෙහි පැවතීම වශයෙන් ප්‍ර‍කට වේ.

 

ඒ මෙසේයි:- සොම්නසින් යුත් කලැ උපන් රූප සිනිඳු වේ. මෘදු වේ. ප්‍ර‍ණීත වේ. සුඛ ස්පර්‍ශ වේ. දොම්නස් කලැ උපන් රූප - ම්ලාන වේ, ක්ලාන්ත වේ. දුර්‍වණ වේ.

 

ඒ යෝගී තෙමේ ඒ රූප පරිග්‍ර‍හ කොට සොම්නස් කලැ පැවැති රූපය දොම්නස් කල නො පැමිණ එහිම නිරුද්ධ වේ. දොම්නස් කලැ පැවැති රූපය සොම්නස් කලට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. එහෙයින් අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්මයැ යි මෙසේ එහි තිලකුණට නගයි. මෙසේ චිත්ත සමුත්‍ථාන රූප පරිග්‍ර‍හ කොට එහි ත්‍රිලක්‍ෂණයට නගන යෝගීහට මේ අර්‍ථය ප්‍ර‍කට වේ.

 

“ජීවිතං අත්තභාවො ච - සුඛදුක්ඛා ච කෙවලා

එකචිත්තසමායුත්තා - ලහුසො වත්තතෙ ඛණො

 

චුලාසිති සහස්සානි - කප්පං තිට්ඨන්ති යෙ මරූ

නත්‍ථෙව තෙපි තිට්ඨන්ති - ද්‍වි චිත්තෙහි සමාහිතා

 

යෙ නිරුද්ධා මරන්තස්ස - තිට්ඨමානස්ස වා ඉධ

සබ්බෙව සදිසා ඛන්‍ධා - ගතා අප්පටි සන්‍ධිකා

 

අනන්තරා ච යෙ භග්ගා - යෙ ච භග්ගා අනාගතෙ

තදන්තරා නිරුද්ධානං - වෙසමං නත්‍ථි ලක්ඛණෙ

 

අනිබ්බත්තෙන න ජාතො - පච්චුප්පන්නෙන ජීවති

චීත්තභඞ්ගා මතො ලොකො - පඤ්ඤත්ති පරමත්‍ථියා

 

අතිධානගතා භග්ගා - පුඤ්ජොනත්‍ථි අනාගතෙ

නිබ්බතතා යෙපි තිට්ඨනති - ආරග්ගෙ සාසපුපමා

 

නිබ්බත්තානඤ්ච ධම්මානං - භඞ්ගො නෙසං පුරක්ඛතො

පලොකධම්මා තිට්ඨන්ති - පුරාණෙහි අමිස්සීතා

 

අදස්සනාතො ආයන්ති - භඞ්ගා ගච්ඡත්‍ය දස්සනං

විජ්ජුප්පාදො ව ආකාසෙ - උප්පජ්ජන්ති වයන්තී ච

 

*[759] දිවිය, අත් බව් හා - සුව දුක් දහම් මත් වේ.

එක් සිත් සැණක් පැවැතේ - එ සැණ ද ඉතා ලුහු වේ

 

සුවාසූ දහසක් - කප් සිටින දෙවියෝවත්

උපන් සිත හා නසිනෙන් - දෙසිත් සැණෙකින් නො සිටිත්.

 

මැරෙනහු සෙ දිවමන් - සතන් නැසෙන පස්කඳ

පිළිසඳ නො යනුයෙන් මතු - සම වේ සියල නැසුමෙන්

 

අනතුරුව ද නැසුණු - අනාකල ද නැසෙන සුලු

දෙ අතුරැ පැවැතැ - සකරන් ලකුණු නො වෙනසි

 

නො උපතේ නූපනි - වත්මන් සිතින් දිවමනි

සිත්නට½[760] මළැයි පරමත් - දිවමන්නම් වහරමත්

 

බුන්දම් නො සැඟවිණි - අනාකැ පිඩුවෙක් නැති

හිදී අගැ අබැටක් ලෙසින් - වත්තමන සකර පැවැතෙ

 

නිපන් එ සකර දම් - වැනැසුම් පෙරටු කොට ගෙන

පැරැණි දම් හා නුමුසුවැ - වැනැසෙන සුලැවැ සිටුනේ

 

කිසි තැනෙකින් නො ඒ - නැසුණේද නොදැක්මට යේ

අහසෙහි නැගි විදුලි සේ - සකර උපදී වැනැසේ

 

මෙසේ ආහාරමයාදී රූපයෙහි තිලකුණු අරවා නැවැතැ ධර්‍මතා රූපයෙහි තිලකුණු අරව යි.

 

ධර්‍මතා රූපය නම්:- පිටත (අනින්‍ද්‍රිය බඬ වූ) යකට- ලෝහ- සුදු ඊයම්- කළු ඊයම්- රන්- රිදී- මුතු- මැණික්- වෙරළු මිණි- සක්- කළුගල්- පබළු- රතුකැට- මාසිරිගල්- පොළෝ- පහණ- ගල්- තණ- රුක්- ලිය ආදී ප්‍රභේද ඇති මට ගන්නා කප පටන් ගෙන උපදනා රූපය යි. එය මේ යෝගී හට අශෝක අඞ්කුර වශයෙන් ප්‍ර‍කට වේ.

 

ඒ මෙසේ:- අශෝක අංකුර රූපය ආදියෙහි ම තුනී රත් පැහැය. නැවැතැ දෙතුන් දිනක් ඇවෑමෙන් මඳක් රත්වේ. අනතුරුවැ තරුණ පත් බඳු වර්‍ණ වේ අනතුරු වැ මේරු පත් බඳු පැහැවේ. ඉක්බිති කොළ පත් පැහැ වේ. අනතුරුව නිල් පත් පැහැ වේ. එතැන් පටන් වර්‍ණාදි වශයෙන් සමාන ස්වභාව ඇති රූපය හේතු - ඵල පරම්පරා නො සිඳ පවත්නේ හවුරුද්දකින් පමණ පඬුවන් වැ නටුවෙන් ගැලවී බිම හෙයි. ඒ යෝගී තෙමේ ඒ පරිභ්‍ර‍ව කොට තුනී රතු කල පැවැති රූපය මඳ රතු කාලයට ද -පෙ- පඬුවන් පත් කල පැවැති රූපය නටුයෙන් ගිලිහී වැටෙන කාලයට නො පැමිණ නිරුද්ධ වේ. එහෙයින් එය අනිත්‍ය යැ. දුඃඛ යැ, අනාත්මයැ යි මෙසේ එහි තිලකුණට නගා මේ නයින් සියලු ධම්මතා රූපය සන්මර්‍ශනය කෙරේ. (මේ දුඃඛය වනුයේ ඒ ගැන ඇලුම් ඇත්තහුට යැ.)

 

මෙසේ රූප සප්තක වශයෙන් පළමුකොට තිලකුණට නගා සංස්කාර සන්මර්‍ශනය කෙරේ.

 

අරූප සප්තක වශයෙන් මෙසේ යි.

(1) කලාප වශයෙන් ද,

(2) යමක වශයෙන් ද,

(3) ක්‍ෂණික වශයෙන් ද,

(4) පටිපාටි වශයෙන් ද,

(5) දෘෂ්ටි උද්ඝාටන වශයෙන් ද,

(6) මාන සමුද්ඝාටන වශයෙන් ද,

(7) නිකන්ති පරියාදාන වශයෙන්දැ යි සත් පරිද්දෙකින් විදර්‍ශනා කරන්නේ යැ.

 

කලාප වශයෙන්, කලාප නම්:- ඵස්ස- වේදනා- සඤ්ඤා- චේතනා- චිත්ත- යන ඵස්ස පඤ්චමක ධර්‍මයෝ යි. කලාප වශයෙන් සන්මර්‍ශනය කරන පරිදි “ඉධ භික්ඛු ඉති පටිසංචික්ඛති. යෙ ඉමෙ කෙසා අනිච්චා- දුක්ඛා- අනත්තානි සම්මසනෙ උප්පන්නා ඵස්සපඤ්චමකා ධම්මා. යෙ ච ලොමා -පෙ- මත්‍ථ ලුඞ්ගං අනිච්චා දුක්ඛමනත්තානි” ‘මෙ සසුනෙහි යෝගී භික්‍ෂුතෙමේ මේ කේස අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්මයැ යි සන්මර්‍ශනය කිරීමේ දී උපන් ඵස්ස පඤ්චමක නාම ධර්‍මයෝ අනෙක් - කොටසකට නො පැමිණ පුරුක් - පුරුක්වැ කොටස් - කොටස්වැ රත් කබෙලක ලූ තල සේ තට - තට වන අනුකරණයෙන් විනාශ වෙති. එහෙයින් අනිත්‍යය හ, දුඃඛය හ, අනාත්මයහ යි සන්මර්‍ශනය කෙරේයැ යි මෙසේ සලකයි. මේ විශුද්ධි කථාවෙහි*[761] ක්‍ර‍මය යි.

 

*ආර්‍ය්‍යවංශ කථාවෙහි* යට රූප සප්තකයෙහි සත් තැනෙක කී රූපය අනිස යැ, දුක යැ. අනතයැ යි පැවැති සිත ද අනිස යැ, දුක යැ, අනතයැ යි අනික් සිතකින් සන්මර්‍ශනය කරන්නේ කලාප වශයෙන් සන්මර්‍ශනය කරන්නේ නමැයි කියන ලදී. ඒ අතිශයින් යුක්ත වේ. එහෙයින් සෙසු යමකාදිය ද ඒ නයින් ම බෙදන්නෙමු.

 

(රූප සප්තක සන්මර්‍ශනය රූප ධර්‍මයන්හි ඝන විනිර්භෝග කොට පැවැත්තේ යැ. ඒ විෂයෙහි වූ අරූප ධර්‍ම සන්මර්‍ශනය අතිශයින් අනිත්‍ය ලක්‍ෂණය ප්‍ර‍තිවේධය පිණිස පවතීය යි අතිශයින් යුක්ත යැ. එහෙත් එහි නො කී කේශාදිය සන්මර්‍ශනය කොට ඒ විෂයෙහි පැවැති අරූපධර්‍ම සන්මර්‍ශන කර්‍මස්ථානය අභිනව වන හෙයින් අනිත්‍ය ලක්‍ෂණ ප්‍ර‍තිවේධයට පහසු නො වේ. පෙර පැවති සන්මර්‍ශන විෂය හැර අනෙක් සන්මර්‍ශන විෂයයක් ගත් හෙයිනි. යනු ටීකා යි.)

 

(2) යමක වශයෙන් :- මෙහි ඒ යෝගී තෙමේ පෙර කී අදාන - නික්ඛෙප රූපය අනිත්‍ය යැ, දුඃඛයැ, අනාත්ම යැ යි සන්මර්‍ශනය කොට; ඒ සන්මර්‍ශනය කළ චිත්තය ද අනික් සිතකින් අනිත්‍ය - දුඃඛ - අනාත්ම වශයෙන් සන්මර්‍ශනය කිරීමෙන් රූපා‘රූප යුගළ වශයෙන් විදර්‍ශනා වැඩීම ද යමක වශයෙන් සන්මර්‍ශනය කිරීම යි.

 

වයොවුද්ධත්‍ථගාමි රූපය ද, ආහාරමය රූපය ද, උතුමය රූපය ද, කර්‍මජ රූපය ද, චිත්ත සමුත්‍ථාන රූපය ද, ධර්‍මතා රූපය ද, අනිත්‍ය - දුඃඛ අනාත්ම වශයෙන් සන්මර්‍ශනය කොට ඒ සන්මර්‍ශනය කළ චිත්තය ද අනික් සිතකින් සන්මර්‍ශනය කෙරේ නම් ඒ යමක (යුගල) වශයෙන් සන්මර්‍ශනය කිරීම නම් වේ. මේ යමක වශයෙන් සන්මර්‍ශනය කිරීමයි.

 

(3) ක්‍ෂණික වශයෙන් :- ඒ යෝගි තෙමේ පෙරකී ආදානනික්‍ෂෙප රූපය අනිත්‍ය - දුඃඛ - අනාත්ම වශයෙන් සන්මර්‍ශනය කොට ඒ රූප විදර්‍ශනා කළ පළමුවන සිතද ‘අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්මයැ’යි සන්මර්‍ශනය කොට ඒ සිත ද අනිත්‍යාදී වශයෙන් සන්මර්‍ශනය කොට මෙසේ දෙවන, තුන්වන, සතරවන සිතදැ යි සිත් සතරක් සන්මර්‍ශනය කිරීම ක්‍ෂණික වශයෙන් සන්මර්‍ශනය කිරීම නම් වේ.

 

නැවැතැ වයොවුද්ධත්‍ථගාමි රූපය, ආහාරමය රූපය, උතුමය රූපය, කර්‍මජ රූපය, චිත්ත සමුට්ඨාන රූපට්ඨාය, ධම්මතා රූපය, අනිත්‍ය යැ, දුඃඛයැ, අනාත්මයැ යි සන්මර්‍ශනය කොට ඒ ප්‍ර‍ථම චිත්තය දෙ වැනි සිතින් ද, දෙවැනි සිත තුන් වැනි සිතින් ද, තුන් වැනි සිත සතර වැනි සිතින් ද, සතර වැනි සිත පස් වැනි සිතින් ද, සන්මර්‍ශනය කෙරේ. මෙසේ රූප පරිග්‍ර‍හ චිත්තයෙහි පටන් සතර-සතර සිතක් සන්මර්‍ශනය කිරීම ක්‍ෂණික වශයෙන් සන්මර්‍ශනය කිරීම නම් වේ.

 

(4) පටිපාටි වශයෙන්:- ආදාන නික්ඛේප වශයෙන් සන්මර්‍ශනය කළ රූපය ‘අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්මයැ’යි විදර්‍ශනා වඩා ඒ විදර්‍ශනා වැඩු පළමු සිත අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්මයැ යි ද, දෙවෙනි සිත විදර්‍ශනා වැඩු තුන් වන සිතදැයි මෙසේ පිළිවෙලින් දස වැනි සිත ‘අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්මයැ’යි එකොළොස්වන සිතින් සන්මර්‍ශනය කෙරේ.

 

මෙසේ සෙසු වයොවුද්ධත්‍ථගාමී රූපය ද -පෙ- ධර්‍මතා රූපයදැ යි සෙසු රූපයන් විදර්‍ශනා වඩා ඒ විදර්‍ශනා කළ සිත් ද, දස වන සිත් තෙක් අනිත්‍යාදි වශයෙන් සන්මර්‍ශනය කෙරේ. මෙසේ විදර්‍ශනා පිළිවෙලින් මුළු දවසම සන්මර්‍ශනය කිරීමට වටනේ යැ. දස වැනි සිත තෙක් විදර්‍ශනා වැඩීමෙන් රූප කර්‍මස්ථානය ද, අරූප කර්‍මස්ථානය ද ප්‍ර‍ගුණ වේ. එහෙයින් ‘දස වැනි සිත තෙක් සන්මර්‍ශනය කළ යුතුයැ’යි කියන ලදි. මෙසේ සන්මර්‍ශනය කිරීම පටිපාටි වශයෙන් (පිළිවෙලින්) සන්මර්‍ශනය කිරීම නම් වේ.

 

(5) දිට්ඨිඋග්ඝාටන වශයෙන් ද

(6) මාන උග්ඝාටන වශයෙන්ද

(7) නිකන්ති පරියාදන වශයෙන්දැ යි යන මේ තුනෙහි වෙන ම සන්මර්‍ශනයෙක් නැති.

 

යට රූප සප්තකයෙහි රූපය ද මේ අරූප සප්තකයෙහි අරූපය ද විදර්‍ශනාවට නගා ඒ නාම-රූපයන් ගෙන් මත්තෙහි අනෙක් සත්ත්‍වයකු නො දකී. එසේ සත්ත්‍වයෙකු නො දුටු තැන් පටන් සත්ත්‍ව සංඥාව උගුළුවන ලදි. සත්ත්‍ව සංඥාව උගුළුවා හළ සිතින් සංස්කාර පරිග්‍ර‍හ කරන්නහුට ම දෘෂ්ටිය නූපදී. දෘෂ්ටිය නූපදනා කලැ දෘෂ්ටිය උගුළුවන ලද්දී නම් වේ. දෘෂ්ටි උද්ඝාටිත සිතින් සංස්කාරයන් සන්මර්‍ශනය කරන්නහුට මානය නූපදී. මානය නූපදනා කල මානය සමුද්ඝාටිත නම් වේ. මානය සමුද්ඝාටිත සිතින් සංස්කාර පරිග්‍ර‍හ කරන්නා හට තෘෂ්ණා නූපදී. තෘෂ්ණා නූපදනා කල්හි නිකන්තීය (සියුම් තෘෂ්ණාව) ක්‍ෂය වේ. මේ (පළමු) විශුද්‍ධි කථාවෙහි කියන ලද ක්‍ර‍මය යි.

 

ආර්‍ය්‍යවංශ කථාවෙහි:- “දිට්ඨිඋග්ඝාටනතො, මානසමුග්ඝාටනතො, නිකන්තිපරියාදනතො” යි ‘දෘෂ්ටිය උගුළුවන හෙයින් ද, මානය නැසීමෙන් ද, නිකන්තිය ක්‍ෂය කිරීමෙන්දැ’ යි මාතෘකා තබා මේ ක්‍ර‍මය දැක්වී.

 

“මම විදර්‍ශනා කරමි. විදර්‍ශනාව මාගේයැ යි” මෙසේ (සත්කාය දෘෂ්ටියෙන්) ගන්නවුන්ගේ ආත්ම දෘෂ්ටිය නොසිඳේ. “සංස්කාරයෝ ම සංස්කාරයන් විදර්‍ශනා කෙරෙති. අනිත්‍යාදි වශයෙන් විනිශ්චය කෙරෙති. පරිග්‍ර‍හ කෙරෙති, පිරිසිඳිතියැ”යි ගන්නහුට වනාහි දෘෂ්ටිය උද්ඝාටනය වේ.

 

‘මම මනාව විදර්‍ශනා කරමි. මාගේ විදර්‍ශනාව මැනැවැ යි” ගන්නහුන් ගේ මාන නො නැසේ. එතෙකුදු වුව “සංස්කාරයෝ ම සංස්කාරයන් විදර්‍ශනා කෙරෙති. සන්මර්‍ශනය කෙරෙති. විනිශ්චය කෙරෙති. පරිග්‍ර‍හ කෙරෙති. පිරිසිඳිත්යැ” යි ගත්තහු ගේ මානය සමුද්ඝාටනය වේ.

 

‘මා විදර්‍ශනා කළ හැකියැ යි” විදර්‍ශනාව ආස්වාදනය කරන යෝගීහු ගේ නිකන්ති නම් වූ සියුම් තෘෂ්ණාව ක්‍ෂය නොවේ. සංස්කාරයෝ ම සංස්කාරයන් විදර්‍ශනා කෙරෙති. සන්මර්‍ශනය කෙරෙති. විනිශ්චය කෙරෙති. පරිග්‍ර‍හ කෙරෙති. පිරිසිඳිත්යැ යි” ගන්නා වූ යෝගීහු ගේ සියුම් තෘෂ්ණාව ක්‍ෂය වේ. සංස්කාර ආත්ම වේ නම් ආත්මය යි ගන්නට වටී. අනාත්ම වූ සංස්කාර ආත්මය යි තීර්‍ථකයන් විසින් ගන්නා ලදී. එහෙත් ඒ සංස්කාර ‘තමා වසයෙහි නො පවත්නා හෙයින් අනාත්ම යැ ඇතිවැ නැති වන අනර්‍ථයෙන් අනිත්‍ය යැ ඉපදීම් - වැනසීම් දෙක්හි පෙළන හෙයින් දුක්යැ’යි ද දක්නහුගේ දෘෂ්ටිය උද්ඝාටනය වේ.

 

තවද සංස්කාර නිත්‍ය නම් නිත්‍යයැ යි ගන්නට වටී. අනිත්‍ය වූ ම සංස්කාර තීර්‍ථකය්න නිත්‍යය යි ගන්නා ලදි. එහෙයින් ඒ සංස්කාර ‘ඇතිවැ නැති වන හෙයින් අනිත්‍ය යැ. උත්පාද - ව්‍යය දෙක්හි පෙළ හෙයින් දුක් යැ, වශයෙහි නො පවත්නා හෙයින් අනාත්මයැ’ යි දක්නා යෝගීහු ගේ මානය සමුද්ඝාටනය වේ.

 

තවද සංස්කාර සැප වේ නම් සැපය යි ගන්නට වටී. එහෙත් දුක් වූ ම සංස්කාර තොටුවන් විසින් සැපයැ යි ගන්නා ලදි. එහෙයින් ඒ සංස්කාර ‘උත්පාද - ව්‍යය දෙක්හි පෙළන හෙයින් දුක් යැ, ඇති වැ නැති වන හෙයින් අනිත්‍ය යැ, වශයෙහි නො පවත්නා හෙයින් අනාත්මයැ යි,

 

මෙසේ සංස්කාර අනාත්ම හෙයින් දක්නහුගේ ආත්ම දෘෂ්ටිය සමුද්ඝාටනය වේ. අනිත්‍ය හෙයින් දක්නහුගේ මාන සමුද්ඝාටනය වේ. දුක් වශයෙන් දක්නහුගේ නිකන්ති පරියාදානය වේ. ‘මෙසේ මේ විදර්‍ශනය තම- තමාගේ ස්ථානයෙහි ම සිටියේ වේය’යි මෙසේ අරූප සත්තක වශයෙන් ද ත්‍රිලක්‍ෂණයට නගා සංස්කාර සන්මර්‍ශනය කෙරේ. මෙතෙකින් ඒ යෝගීහට රූප කර්‍මස්ථානය ද, අරූප කර්‍මස්ථානය ද, ප්‍ර‍ගුණ වේ.

 

විශේෂ:- යට කී පිළිවෙලින් විදර්‍ශනා වැඩීමෙහි නියුතු යෝගීහු ගේ අනත්තානුපස්සනාව යම් කලෙක තියුණු වැ, ශූර වැ, විශද වැ, පවතී නම්, ඉතිරි දෙක එයට අනුවර්‍තක වේ නම් එකල ඒ යෝගී විසින් දෘෂ්ටි උද්ඝාටනය කරන ලදි. සියලු දෘෂ්ටීහු ආත්ම දෘෂ්ටිය මුල් කොට ගනී. අනත්තානුපස්සනාව ආත්ම දෘෂ්ටියට සෘජු වැ ප්‍ර‍තිපක්‍ෂ යි.

 

අනිත්‍ය සංඥාව තියුණු වැ ශුරවැ විශදවැ පවත්නා කල ඉතිරි දෙක එයට අනුවර්‍තක යැ. එකල මේ යෝගී මාන සමුද්ඝාටනය කෙරේ. අනිත්‍ය බව ඇති කල්හි ම “මේ නිත්‍ය යැ මේ ධුවයැ යි” මාන වශයෙන් ජල්පනය නො වේ. බකබ්‍ර‍හ්මයාගේ මෙනි. අනිච්චානුපස්සනාව ම නිත්‍ය ග්‍රාහයට සෘජු ප්‍ර‍තිපක්‍ෂ යි.

 

දුක්ඛානුපස්සනාව තීක්‍ෂණවැ, ශූරවැ, පවත්නා කලැ ඉතිරි දෙක තදනුවර්‍තක යැ. එකල නිකන්තිය ප්‍ර‍හීණ කළා නම් වෙයි. සුඛ සංඥාව ඇති කල ම තෘෂ්ණාග්‍රාහය වේ. දුක්ඛානුපස්සනාව ද නිකන්ති ප්‍ර‍තිපක්‍ෂ යි.

 

මෙසේ ත්‍රිවිධ අනුපස්සනාවන් ගේ කෘත්‍ය විශේෂ වශයෙන් දෘෂ්ටි උද්ඝාටනාදිය වේ. (ටීකාගත විස්තර)

 

මෙසේ ඒ යෝගී තෙමේ මේ නයින් රූප - අරූප කර්‍මස්ථානය පුහුණු වූයේ මෙසේ පුහුණු වූ රූප-අරූප කමටහන් අත්තේ මතු භඞ්ගානුපස්සාවෙහි පටන් පහාන පරිඤ්ඤා වශයෙන් සියලු ආකාරයෙන් පැමිණිය යුතු අටළොස් (18) මහා විදර්‍ශනාවෙන් මෙහිදී පළමු කොට එක දේශයක් ප්‍ර‍තිවේධ කිරීමෙන් එයට ප්‍ර‍තිපක්‍ෂ වූ ධර්‍ම විෂ්කම්භනය කෙරේ.

 

විස්තර:- අටළොස් (18) මහා විදර්‍ශනා නම් අනිච්චානුපස්සනාදි ප්‍ර‍ඥයි.

ඒ මෙසේයි.

 

(1) අනිච්චානුපස්සනාව වඩන යෝගී නිත්‍ය සංඥාව දුරු කෙරේ.

 

(2) දුක්ඛානුපස්සනාව වඩන්නේ සුඛ සංඥාව ද

 

(3) අනත්තානුපස්සනාව වඩන්නේ ආත්ම සංඥාව ද

 

(4) නිබ්බිදානුපස්සනාව වඩන්නේ නන්‍දීය (සප්‍රීතික තෘෂ්ණාව) ද

 

(5) චිරාගානුපස්සනාව වඩන්නේ රාගය ද

 

(6) නිරොධානුපස්සනාව වඩන්නේ සමුදය ද

 

(7) පටිනිස්සග්ගානුපස්සනාව වඩන්නේ ආදානය (භව තෘෂ්ණාව) ද

 

(8) ඛයානුපස්සනාව වඩන්නේ ඝන සංඥාව (සන්තති - සමූහ - කෘත්‍ය - ආරම්මණ වශයෙන් එකත්‍වයෙන් ගැනීම) ද

 

(9) වයානුපස්සනාව වඩන්නේ සංස්කාරයන්ගේ රැස් කිරීම ද,

 

(10)    විපරිණාමනුපස්සනාව වඩන්නේ ධුව සංඥාව (ස්ථිර වශයෙන් ගැනීම) ද

 

(11)    අනිමිත්තානුපස්සනාව වඩන්නේ නිත්‍ය නිමිත්ත ද

 

(12)    අප්පණිහිතානුපස්සනාව වඩන්නේ ප්‍ර‍ණිධිය (සුඛ වශයෙන් ගැනීම) ද

 

(13)    සුඤ්ඤතානුපස්සනාව වඩන්නේ ආත්ම වශයෙන් අභිනිවේශය ද

 

(14)    අධිපඤ්ඤධම්මවිපස්සනාව (සංස්කාර අනිත්‍යාදි වශයෙන් දක්නා නුවණ) වඩන්නේ තෘෂ්ණා-දෘෂ්ටි වශයෙන් දැඩිවැ ගැනීමද

 

(15)    යථාභූත ඤානදර්‍ශනය වඩන්නේ  සම්මොහාභිනිවෙශය ද

 

(16)    ආදීනවානුපස්සනාව වඩන්නේ ආලය වශයෙන් දැඩිව ගැනීම ද

 

(17)    පටිසඞ්ඛානුපස්සනාව (සංස්කාරයන් මිදීමේ උපාය ඥානය) වඩන්නේ අප්පටිසංඛය (අවිද්‍යාව) ද

 

(18)    විවට්ටානුපස්සනාව වඩන්නේ කාම සයොහාදි ක්ලේශ ප්‍ර‍වෘත්තිය ද දුරු කෙරේ.

 

මේ අටලොස් මහා විදර්‍ශනාවන් අතුරින් අනිත්‍යාදි ලක්‍ෂණ ත්‍ර‍ය වශයෙන් මේ යෝගියා විසින් සංස්කාර දක්නා ලද හෙයින් අනිත්‍ය - දුඃඛ - අනාත්මානුදර්‍ශනය ප්‍ර‍තිවේධ කරන ලද්දේ වෙයි.

 

“යා ච අනිච්චානුපස්සනා‍, යා ච අනිමත්තානුපස්සනා. ඉමෙ ධම්මා එකට්ඨා ව්‍යඤ්ජනමෙව නා නා”[762] ‘යම් යම් අනිච්චානුපස්සනාවක් - යම් අනිමිත්තානුපස්සනාවක් වේ නම් මේ ධර්‍ම එකාර්‍ථ යැ. ව්‍යඤ්ජන ම වෙනසි’

 

එසේ ම “යා ච දුක්ඛානුපස්සනා යා ච අප්පණි හිතානුපස්ස - නා ඉමෙ ධම්මා එකට්ඨා ව්‍යඤ්ජන මෙව නානා”1 යම් දුක්ඛානුපස්සනාවක් යම් අප්පණිහිතානුපස්සනාවක් වේ නම් මේ ධර්‍ම එකාර්‍ථ යැ ව්‍යඤ්ජන ම වෙනසි.

 

“යා ච අනත්තානුපස්සනා - යා ච සුඤ්ඤතානුපස්සනා ඉමෙ ධම්මා එකට්ඨා ව්‍යඤ්ජනමෙව නානා”1 ‘යම් අනත්තානුපස්සනාවක් - යම් සුඤ්ඤතානුපස්සනාවක් වේ නම් මේ ධර්‍ම එකාර්‍ථ යැ ව්‍යඤ්ජනම වෙනසි’ යි වදාරන ලදි.

 

එහෙයින් ම ඒ අනිමිජ්ත - අප්පණිහිත - සුඤ්ඤතානුපස්සනාවෝ ද ප්‍ර‍තිවේධ කරන ලද හ. අධිපඤ්ඤාධම්ම විපස්සනාව සියලු විදර්‍ශනාවේ ම ඇත්තී ය. (එහෙයින් එක දේශයකින් ප්‍ර‍තිලබ්ධ වේය යනු ආශය යි.)

 

යථාභූත ඥානදර්‍ශනය කඞ්ඛාවිතරණ විසුද්ධියෙන් ම සංග්‍ර‍හ කරන ලදි. (එය මුලදී ම සිද්ධ යැ යනු ආශාය යි.) එහෙයින් අධිපඤ්ඤාධම්මවිපස්සනාව හා යථාභූත ඥාන දර්‍ශනය ද ප්‍ර‍තිවේධ කරන ලදි. සෙසු නිබ්බිදානුපස්සනාදි දස විදර්‍ශනාවන් අතුරින් කිසිවක් (එකදෙශයක්) ප්‍ර‍තිවෙධ කරන ලද්දේ වෙයි. කිසිවක් ප්‍ර‍තිවෙධ නො කරන ලද්දේ වෙයි.

 

ඒ මෙසේ යි:- අනිච්චානුපස්සනාව සිද්ධ කල්හි නිරොධානුපස්සනා ද, ඛයානුපස්සනා ද, විපරිණාමානුපස්සනා ද එකදේශයකින් සිද්ධ වේ.

 

දුඃඛානුපස්සනාව සිද්ධ කල්හි - නිබ්බිදානුපස්සනාව ද, ආදීනවානුපස්සනාව ද සිද්‍ධ වේ. අනත්තානුපස්සනාව සිද්ධ කල්හි ඉතිරි අනුපස්සනාව සිද්ධ වේ. (යනු ටීකාවයි.) ඔවුන්ගේ විභාගය පටිපදාඤාණදස්සන විසුද්ධියෙහි මතු ප්‍ර‍කාශ කරම්හ.

 

විශේෂ:- ප්‍ර‍තිවේධ කරන ලද විදර්‍ශනාඥාන සඳහා ම “මෙසේ ප්‍ර‍ගුණ කළ රූපා‘රූප කර්‍මස්ථාන ඇති යෝගී මතු භඞ්ගානුපස්සනාහි පටන් පහාන පරිඤ්ඤා වශයෙන් සියලු ආකාරයෙන් පැමිණිය යුතු අටළොස් මහා විදර්‍ශනාව පළමුවැ මෙහි ම එක දේශයක් ප්‍ර‍තිවෙධ කරන්නේ එයට ප්‍ර‍තිපක්‍ෂ ධර්‍ම පහ කෙරේය” යි එහෙයින් කියන ලදි.

 

වළා පහවීමෙන් අහස මෙන් ද, මඩ - මල බැහැරවීමෙන් ජලය මෙන් ද, කිලිටු පහවීමෙන් රන් මේන ද, කෙලෙස් පහවීමෙන් ඤාණයා ගේ පාරිශුද්ධිය වන හෙයින් ඒ යෝගී තෙමේ මෙසේ අනිච්චානුපස්සනාදියට ප්‍ර‍තිපක්‍ෂ වූ නිච්චසඤ්ඤාදිය පහකිරීමෙන් කෙළෙස් බැහැරවීමෙන් විසුද්‍ධ ඤාණය ඇතිවැ ත්‍රිලක්‍ෂණය මෙනෙහි කිරීමෙන් සම්මසන ඤාණයාගේ පරතෙරට ගොස් නය විදර්‍ශනා සඞ්ඛ්‍යාත කලාප සන්මර්‍ශනය ඥානයට අනතුරුවැ ‘ප්‍ර‍ත්‍යුත්පන්න ධර්‍මයන්ගේ විපරිණාමානුපස්සනාවෙහි පැවති ප්‍ර‍ඥාව උදයව්‍යයානු දර්‍ශනයෙහි ඥානය’යි යමක් කියන ලදද ඒ උදයව්‍යයානු දර්‍ශනයට පැමිණිම පිණිස යොග (උත්සාහ) පටන් ගනී.

 

එසේ පටන් ගන්නේ ද, සැකෙවින් පටන් ගනී. මේ ඒ පිළිබඳ පාළියයි. “කථං පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනෙ පඤ්ඤා උදයබ්බයානුපස්සනෙ ඤාණං ජාතං රූපං පච්චුප්පන්නං. තස්ස නිබ්බන්ති ලක්ඛණං උදයො. විපරිණාම ලක්ඛණං වයො. අනුපස්සනා ඤාණං. ජාතා වෙදනා සඤ්ඤා - සඞ්ඛාරා -විඤ්ඤං - ජාතං චක්ඛු - ජාතො භවො පච්චුප්පන්නො. තස්ස නිබ්බන්ති ලක්ඛණං උදයො. විපරිණාම ලක්ඛණං වයො. අනුපස්සනා ඤාණන්ති.”[763]

 

ඒ මෙසේයි. ‘සන්තති පච්චුප්පන්න වූ හෝ ඛණ පච්චුප්පන්න වූ හෝ ධර්‍ම පිළිබඳ විපරිණාමානුපස්සනායෙහි නුවණ උදයව්‍යයානුදර්‍ශනයෙහි ඥානය යි.

 

උපන් රූපය පච්චුප්පන්න යැ. ඒ රූපයාගේ හට ගැනීම් ලක්‍ෂණය උදය යැ. පෙළීම් සඞ්ඛ්‍යාත විපරිණාම ලක්‍ෂණය ව්‍යාය යැ. අනුපස්සනාව ඤාණය යි.

 

උත්පන්න වේදනාව පච්චුපන්නය - පෙ - සඤ්ඤා - සඞ්ඛාර විඤ්ඤාණ යන ස්කන්‍ධ පිළිබඳව ද මෙසේ උත්පන්න චක්ඛුව පච්චුප්පන්නය, උත්පන්නභාවය පච්චුප්පන්නය. එහි නිබ්බත්ති ලක්‍ෂණය උදය යැ. විපරිනාම ලක්‍ෂණය ව්‍යය ය, අනුදර්‍ශනය ඥානයයි.

 

විශේෂ:- උදය - ව්‍යය දර්‍ශනය හුදෙක් ව්‍යය දර්‍ශනය පිණිස ය. එහෙයින් විපරිනාමානු දර්‍ශනයේ ඥානය යි කියා. ඒ ව්‍යය දර්‍ශනය ද උදය දර්‍ශනය පූර්‍වක හෙයින් උදය ව්‍යයානු දර්‍ශනයේ ඥානය යි කීහු. මෙහි ජාත (උත්පන්න) රූපය නම් “ජාතංභූතං” යනාදීන් හිමෙන් අතීත ධර්‍ම නොව ක්‍ෂණත්‍ර‍ය ය ට ඇතුළත් රූපය ය. හෙද මුලදී සන්මර්‍ශනයට දුෂ්කර හෙයින් සන්තති පච්චුප්පන්නන වසයෙන් විදර්‍ශනාවට නැගිය යුතුයි.

 

කලාපසන්මර්‍ශනයෙහි ජාති-ජරා-මරණ ශීර්‍ෂයෙන් ජාති - ජරා - මරණවත් ධර්‍ම කියන ලදී. මේ උදය ව්‍යයානු දර්‍ශනයෙහි එය බැහැර කිරීම සඳහා පටිච්චසමුප්පාද අඞ්ග අතුරින් භවය අවසන් කොට දේශනා කරන ලදි. (ටීකා)

 

ඒ යෝගී (මේ පාළි නයින්) උපන් නාමරූපයන් ගේ නිබ්බත්ති ලක්‍ෂණය ජාතිය (උත්පාදය) අලුත් ආකාරය උදය යි. විපරිණාම ලක්‍ෂණය ක්‍ෂය යැ, භඞ්ගය ව්‍යයයැයි ද නුවණින් බලයි.

 

ඒ යෝගී තෙමේ මෙසේ දැනගනී, මේ නාම-රූප උත්පත්තියෙන් පෙර නූපන් නාම-රූපයන් ගේ රැසෙක් හෝ පිඬු වූවෙක් හෝ නැත්තේ යැ. උපදින්නා වූ නාම - රූපයන් ගේ රැසකින් හෝ පිඩකින් හෝ ඊමක් නැත්තේ යැ. නිරුද්ධ වන්නා වූ නාම - රූපයන්ගේ ද දිශානුදිශාවන්ට යාමෙක් හෝ නැත්තේ යැ. නිරුද්ධ වූ නාම - රූපයන් ගේ ද එක් තැනෙක රාශි වශයෙන් ද, පිඬු වශයෙන් ද, නිධාන වශයෙන් ද පිහිටා සිටීමෙක් නැත්තේ යි.

 

නිදර්‍ශන:- වීණාව වයන කලැ උපදනා ශබ්දය උපදින්නට පෙර රැස්වීමෙක් නැත්තේ යැ, උපදනේ ද පිණ්ඩයකින් ආයේ නො වේ. නිරුද්ධ වන්නේ ද දිශානුදිශාවන්ට ගමනෙක් නැත්තේ යැ. නිරුද්ධ වූ යේ ද තැනෙකැ රැස් වැ නො සිටී. එහෙත් වීණාව ද, උපවීණාව (වාදන උපකරණය) ද, පුරුෂයා ගේ එයට සුදුසු ව්‍යායාමය ද, නිසා පෙර නොවූ ශබ්දය හටගනී. හටගෙන නස්නේ යි.

 

එසේ ම ‘සියලු රූපා‘රූප ධර්‍මයෝ පෙර නො වූවෝ ඇති වෙත්. ඇති වැ විනාශ වෙත්’ යැ යි මෙසේ සැකෙවින් උදය - ව්‍යය මෙනෙහි කොට, නැවැතැ මේ උදය - ව්‍යය ඥානය ම විභඞ්ගයෙහි “අවිජ්ජා සමුදයා රූප සමුදයො”[764] යි වදාළ පරිදි පඤ්චස්කන්‍ධ වශයෙන් බෙදා, “අවිජ්ජා සමුදයා රූප සමුදයො - තණ්හා සමුදයා -පෙ- කම්ම සමුදයා -පෙ- ආහාර සමුදයා රූප සමුදයො”1 අවිද්‍යාව ගේ උත්පත්තියෙන් රූප ඉපදීම වේ. තෘෂ්ණාව ගේ ඉපදීමෙන් රූප ඉපදීම වේ. කර්‍ම සමුදයයෙන් රූප සමුදය වේ. ආහාර සමුදයයෙන් රූප සමුදය වේ’ යැ යි මෙසේ ප්‍ර‍ත්‍යයන් ගේ සමුදයාර්‍ථයෙන් රූප ස්කන්‍ධයා ගේ උදයය බල යි.

 

නිබ්බත්ති ලක්‍ෂණය (රූප කලින් නො තිබී අලුතෙන් ම උපදනා බව්) බලන්නේ ද, රූප ස්කන්‍ධයා ගේ සමුදය බල යි.

 

විස්තර:- ‘අතීත භවයේ පැවැති අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම යන ප්‍ර‍ත්‍යයන් නිසා භවයෙහි හටගත් රූපයන් ආහාරයා ගේ උපස්තම්භයෙන් සන්තති වශයෙන් පැවැත්ම වේ ය යි’ මෙසේ ප්‍ර‍ත්‍යය වශයෙන් ද (පෙර කී සේ) මේ රූපයෝ කලින් නො තිබී උපදනා හු යැ යනාදී නිබ්බන්ති ලක්‍ෂණයා ගේ බැලීම් වශයෙන් දැ යි මේ ආකාරයෙන් උදයය බලන්නේ යි.

 

(රූපයන් ගේ පැවැත්මට ප්‍ර‍ත්‍යය වන කරුණු අතුරින් බලවත් කාරණ හෙයින් කබලීකාරාභාරය ම මෙහි ගන්නා ලදුවත් ඒ ගැනීමෙන් ම ප්‍ර‍වෘත්තියට සාමාන්‍ය ප්‍ර‍ත්‍යය වූ සෘතු - චිත්ත යෝ ද ගන්නා ලද්දාහු මැ යි. එහෙයින් චතුසමුඪානික රූපයාගේ ප්‍ර‍ත්‍යය වශයෙන් උදයය දක්වන ලද්දේ වෙයි. ((යනු ටීකායි.)

 

(අර්‍හත්මාර්‍ග ඥානයෙන්) අවිද්‍යාව ගේ අනුත්පාද නිරෝධයෙන් අනාගත රූප නිරෝධය වේ. (ප්‍ර‍ත්‍යය නැති කල්හි රූපයා ගේ අභාවය වන හෙයිනි) එසේ ම තෘෂ්ණා නිරෝධයෙන් ද -පෙ- කර්‍ම නිරෝධයෙන් ද, (කබලීකාරාහාර) ආහාර නිරෝධයෙන්ද අනාගත රූප ‘අනුත්පාද නිරෝධය වේ ය යි’ මෙසේ ප්‍ර‍ත්‍යය නිරෝධාර්‍ථයෙන් රූපස්කන්‍ධයා ගේ ව්‍යය බල යි. (මේ ප්‍ර‍ත්‍යය වශයෙන් ව්‍යය බැලීම යි.) විපරිණාම ලක්‍ෂණය බැලීමේනද, රූපයාගේ ව්‍යය බලයි. රූපස්කන්‍ධයා ගේ ව්‍යය බලන යෝගීතෙමේ මේ අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ආහාර - නිරෝධයෙන් ද, විපරිණාම ලක්‍ෂණයෙන් දැ යි මේ පස් ආකාරයෙන් බල යි.

 

එසේම අවිද්‍යා සමුදයයෙන් වේදනා සමුදය වේ’ ය යි ප්‍ර‍ත්‍යය සමුදයාර්‍ථයෙන් වේදනාස්කන්‍ධයා ගේ සමුදය බලයි. ‘තෘෂ්ණා සමුදයෙන් ද, කර්‍ම සමුදයෙන් ද, ඵස්ස සමුදයෙන් ද වේදනා සමුදය වේ ය’යි ප්‍ර‍ත්‍යය සමුදයාර්‍ථයෙන් වේදනාස්කන්‍ධයා ගේ සමුදය බලයි. නිබ්බන්ති ලක්‍ෂණය බලන්නේ ද වේදනාව ගේ උදය බලයි. මෙසේ වේදනාස්කන්‍ධයා ගේ උදය බලන්නේ මේ පස් ලකුණු බලයි.

 

‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේය’ යි මෙසේ ප්‍ර‍ත්‍යය නිරොධයෙන් වේදනාස්කන්‍ධයා ගේ ව්‍යය දකී. විපරිණාම ලක්‍ෂණයද බලන්නේ වේදනාස්කන්‍ධයා ගේ ව්‍යය බලයි. මෙසේ වේදනාස්කන්‍ධයාගේ ව්‍යය බලන යෝගී මෙකී පස් ලකුණු බලයි.

 

‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශ සමුදයයෙන් සංඥා සමුදය වන්නේය’යි ද සංඥාව ගේ නිබ්බත්ති ලක්‍ෂණය ද බලන්නේ යි. ‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශ නිරොධයෙන් සංඥා නිරෝධය වන්නේය’යි සංඥාව ගේ නිරෝධය ද, විපරිණාම ලක්‍ෂණය ද බලන්නේ යි.

 

‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශසමුදයයෙන් සංස්කාර සමුදයය වන්නේය’යි ද සංස්කාරයන් ගේ නිබ්බත්ති ලක්‍ෂණය ද බලයි. ‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශනිරෝධයෙන් සංස්කාරනිරෝධය වන්නේය’යි සංස්කාර නිරෝධ ලක්‍ෂණය ද විපරිනාම ලක්‍ෂණය ද බලන්නේ ය.

 

‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - නාම - රූප සමුදයෙන් විඥාන සමුදයය වන්නේය’ යි විඥානයා ගේ සමුදය ද, නිබ්බත්ති ලක්‍ෂණය ද බලන්නේ යැ ‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - නාම - රූප නිරෝධයෙන් විඥාන නිරෝධය වන්නේය’යි, විඥානයා ගේ නිරෝධය ද, විපරිණාම ලක්‍ෂණය ද බලන්නේ යැ.

 

මෙසේ එක් එක් ස්කන්‍ධයෙහි (උදය - ව්‍යය වශයෙන්) දසය දසය බැගින් ගෙන සම පනස් (50) ආකාරයෙන් උදය - ව්‍යය කියන ලදි. ඒ සම පනස් ආකාරයා ගේ වශයෙන් ‘මෙසේත් රූපයා ගේ උදය වෙයි, මෙසේත් රූපයා ගේ ව්‍යය වේය’යි ප්‍ර‍ත්‍යය වශයෙන් බලයි.

 

‘මෙසේ රූපය නිපදී. මෙසේ රූපය වැනැසේය’යි නිබ්බත්ති ලක්‍ෂණය ද, විපත්ති ලක්‍ෂණය ද  බලයි. මෙසේ ප්‍ර‍ත්‍යය වශයෙන් ද ක්‍ෂණ වශයෙන් ද විස්තර වශයෙන් මෙනෙහි කෙරේ.

 

විශේෂ:- පඤ්චස්කන්‍ධයන් අතුරෙන් ඒ ඒ ස්කන්‍ධයට සාමාන්‍ය ප්‍ර‍ත්‍යය වශයෙන් අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම තුන දැක්වේ. විශේෂයෙන් ආහාර රූපස්කන්‍ධයට ද ඵස්සය වේදනා - සංඥා සංස්කාර ස්කන්‍ධයන් තුනටද, නාම - රූප විඥාන ස්කන්‍ධයට ද ප්‍ර‍ත්‍යය වේ.

 

විස්තර:- “විඤ්ඤාණ පච්චයා නාම රූපං[765] පටිච්චසමුප්පාදයෙහි විඤ්ඤාණය නාම - රූප ප්‍ර‍ත්‍යය වශයෙන් කීවේ නිබ්බත්ති (ජනක) හේතු වශයෙනි. මහාපදාන - මහානිදාන සූත්‍ර‍යන්හි1 හා අභිධර්‍මයෙහි[766] “නාම - රූප පච්චයා විඤ්ඤාණං2 යි අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය දේශනයෙහි වදාළේ යි. ඒ වූ කලී ප්‍ර‍වෘත්ති හේතු වශයෙනි. ඔවුන් ගේ නිරෝධයෙන් රූපාදීන් ගේ නිරෝධය වේ. (මේ ටීකා වචනයි.)

 

නාම - රූප ධර්‍මයන් ගේ උදයහා ව්‍යය ක්‍ෂණික වශයෙන් ද, සන්තනි වශයෙන් ද, අනුත්පන්න වශයෙන් දැයි තුන් ආකාරයෙකින් වේ. ‘අරූපස්කන්‍ධයන් ගේ උදය - ව්‍යය බැලීම සන්තති වශයෙන් වේ. ක්‍ෂණික වශයෙන් නො වේ යැයි’ යි කේචි වාදයෙකි. එහෙත් ප්‍ර‍ත්‍යය වශයෙන් උදය - ව්‍යය බැලීමෙහි දී අතීතාදී විභාගය නො ගෙන සර්‍වසාධාරණ හෙයින් අවිද්‍යාදි ප්‍ර‍ත්‍යයයෙන් වේදනාව ලැබෙන බව බල යි.

 

වැලි උත්පාදය නො බලයි. අවිද්‍යාදීන් ගේ අභාවයෙහි ඒ වේදනාව ගේ අනුත්පාදය බල යි. භඞ්ගය නො වේ. ‘ක්‍ෂණ වශයෙන් උදය - ව්‍යය දැකීමෙන් ප්‍ර‍ත්‍යුත්පන්නයන් ගේ උත්පාදය ද, ව්‍යය ද දකීය’ යි අන්‍යයෝ කියති. ඒ යුක්ත යැ.

 

ඒ මෙසේයි:- ‘සන්තති වශයෙන් රූප - අරූප ධර්‍මයන් උදය වශයෙන් ද, ව්‍යය වශයෙන් ද, මෙනෙහි කරන්නාහට පිළිවෙලින් භාවනාව බලවත් වූ කල්හි ඥානය තීක්‍ෂණ - විශද භාවයට පැමිණීමෙන් ක්‍ෂණ වශයෙන් උදය - ව්‍යය වැටහේ ය’ යි කියා යි. මේ වනාහි පළමු කොට ප්‍ර‍ත්‍යය වශයෙන් උදය - ව්‍යය මෙනෙහි කරනුයේ අවිද්‍යාදි ප්‍ර‍ත්‍යය ධර්‍ම හැරපියා උදය - ව්‍යයවත් වූ ස්කන්‍ධයන් ගෙන ඔවුනට ප්‍ර‍ත්‍ය වශයෙන් උදය - ව්‍යය දර්‍ශන මුඛයෙන් ක්‍ෂණ වශයෙන් ද උදය - ව්‍යය මෙනෙහි කර යි. ඔහු ගේ නුවණ තීක්‍ෂණ වැ විශද වැ පවත්නා කල්හි රූප - අරූප ධර්‍ම ක්‍ෂණයක් පාසා උපදනවුන්ව ද බිඳෙනවුන්ව ද වැටහේ. (යනු ටීකාගත විස්තරයෙකි.)

 

මෙසේ මෙනෙිහ කරන යෝගීහු ගේ ‘මෙසේ මේ ධර්‍මයෝ පෙරැ නොවී හටගනිති. පෙරවී වැනැසෙත් ය යි’ නුවණ අතිශයින් විශද වේ. මෙසේ අවිද්‍යාදි ප්‍ර‍ත්‍යය වශයෙන් ද, උත්පාදාදි ක්‍ෂණ වශයෙන් ද, දෙ පරිද්දෙකින් උදය - ව්‍යය බලන ඒ යෝගීහට දුඃඛාදි සත්‍ය භේදය, අනුලෝමාදි ප්‍ර‍තීත්‍ය සමුප්පාද භේදය, එකත්‍ථාදීනය භේදය, අනිත්‍යාදි ලක්‍ෂණ භෙදය යන මොහු ප්‍ර‍කට වෙති.

 

විශේෂ:- ඒ යෝගී යම් නුවණකින් ‘අවිද්‍යාදීන් ගේ සමුදයෙන් ස්කන්‍ධයන් ගේ සමුදය වේ. අවිද්‍යාදීන් ගේ නිරෝධයෙන් ස්කන්‍ධයන් ගේ නිරෝධය වේය යි’ දකී නම් මේ දැකීම ඒ යෝගීහු ගේ ප්‍ර‍ත්‍යය වශයෙන් උදය - ව්‍යය දැකීම යි. යම් නුවණකින් නිබ්බත්ති ලක්‍ෂණ - විපරිණාම ලක්‍ෂණ දකී නම් ඒ දැකීම ක්‍ෂණ වශයෙන් උදය - ව්‍යය දැකීමයි.

 

“අවිජ්ජා සමුදයා රූපසමුදයො, අවිජ්ජානිරොධ රූප නිරොධො[767] යනාදීන් අවිද්‍යාදීන් ගේ සමුදයයෙන් හා නිරෝධයෙන් රූපස්කන්‍ධාදීන් ගේ සමුදය හා නිරෝධය වන්නාක් මෙන් ‘නිබ්බත්ති ලක්‍ෂණය හා විපරිණාම ලක්‍ෂණය බලන්නේ ස්කන්‍ධයන් ගේ උදය - ව්‍යය බලන්නේය’යි වචන භේදය නො කොට කියන ලදි. (යනු ටීකායි.)

 

විස්තර:- උත්පත්තික්‍ෂණයෙිහ ම නිබ්බත්ති ලක්‍ෂණය ද, භඞ්ගක්‍ෂණයෙහි ම විපරිණාම ලක්‍ෂණය ද වන හෙයින් මෙසේ ප්‍ර‍ත්‍යය විසින් ද, ක්‍ෂණ විසින් ද, දෙපරිද්දෙකින් උදය - ව්‍යය බලන්නා වූ ඒ යෝගීහට ප්‍ර‍ත්‍යය වශයෙන් උදය දැකීමෙන් සමුදයසත්‍යය ප්‍ර‍කට වේ. ස්කන්‍ධාදීන් උපදවන අවිද්‍යාදී ප්‍ර‍ත්‍යය අවබෝධ වන හෙයිනි. ජාති දුඃඛය අවබෝධ වන හෙයින් ක්‍ෂණ වශයෙන් උදය දර්‍ශනයෙන් දුඃඛසත්‍යය ප්‍ර‍කට වේ. ප්‍ර‍ත්‍යය ධර්‍මයන් ගේ අනුත්පාද නිරෝධයෙන් ප්‍ර‍ත්‍යය වත් (ප්‍ර‍ත්‍යයෙන් උපදින) ධර්‍මයන් ගේ අනුත්පාද නිරෝධය අවබෝධ වන හෙයින්, ප්‍ර‍ත්‍යය වශයෙන් ව්‍යය දර්‍ශනයෙන් නිරෝධ සත්‍යය ප්‍ර‍කට වේ. මරණ දුක අවබෝධ වන හෙයින් ක්‍ෂණ වශයෙන් ව්‍යය දර්‍ශනයෙන් දුඃඛ සත්‍ය ම ප්‍ර‍කට වේ.

 

මෙසේ මේ යෝගීහට උත්පත්ති වශයෙන් හා ක්‍ෂණ වශයෙන් උදය - ව්‍යය දැකීම වූ මෙ ලෞකික සම්මාදිට්ඨිය මාර්‍ගය යි, මාර්‍ගසත්‍යය ද ප්‍ර‍කට වේ. ‘ප්‍ර‍දීපය තමා ද ප්‍ර‍කාශ කරන්නා සේ’ ආර්‍ය්‍ය මාර්‍ගය තමා ද ප්‍ර‍කට වේ. ඒ ප්‍ර‍කට භාවය ද මොහාන්‍ධකාර විගමනයෙන් වේ. තවද ඒ යෝගීහට ප්‍ර‍ත්‍යය වශයෙන් උදය දර්‍ශනයෙන් අනුලොම පටිච්චසමුප්පාදය ප්‍ර‍කට වේ. ‘මේ අවිද්‍යාව ඇති කල්හි මේ සංස්කාරය වේ යයි’ මෙසේ අවබෝධ වන හෙයිනි. ‘මේ අවිද්‍යාදී ප්‍ර‍ත්‍යය ධර්‍ම නිරෝධයෙන් මේ සංස්කාරය නිරුද්ධවීය’යි අවබෝධ වන හෙයින් ප්‍ර‍ත්‍යය වශයෙන් ව්‍යය දර්‍ශනයෙන් ප්‍ර‍තිලොම ප්‍ර‍තීත්‍යසමුත්පාදය ප්‍ර‍කට වේ. තවද ක්‍ෂණ වශයෙන් උදය - ව්‍යය දර්‍ශනයෙන් ප්‍ර‍තීත්‍ය සමුත්පන්න ධර්‍ම ප්‍ර‍කට වේ. සංස්කාර ලක්‍ෂණය අවබෝධ වන හෙයිනි.

 

ඒ මෙසේයි:- සංස්කාර ධර්‍ම උදය - ව්‍යය දෙකින් යුක්ත වේ. ඒ සංස්කාර ධර්‍මයෝ ද පටිච්චසමුප්පන්නයෝ ය. තවද ඒ යෝගීහට ප්‍ර‍ත්‍යය වශයෙන් උදය - ව්‍යය දර්‍ශනයෙන් එකත්‍ථනය ප්‍ර‍කට වේ. හේතු - ඵල සම්බන්‍ධයෙන් ‘සන්තානය නො සිඳ පවත්නා බව අවබෝධ වන හෙයිනි. එකල්හි උච්ඡේද දෘෂ්ටිය මනාව බැහැර වේ. ක්‍ෂණ හෙයින් උදය දර්‍ශනයෙන් නානාත්‍ථනය ප්‍ර‍කට වේ.

 

ඒ මෙසේයි :- උත්පාද - ස්ථිති - භඞ්ග වශයෙන් අලුත් අලුත් නාම - රූප ධර්‍මයන් ඉපදීම අවබෝධ වන හෙයිනි. එකල මනාසේ ශාශ්වතදෘෂ්ටිය දුරු වේ.

 

තවද ඒ යෝගීහට ප්‍ර‍ත්‍යය වශයෙන් උදය - ව්‍යය දර්‍ශනයෙන් අව්‍යාපාරනය ප්‍ර‍කට වේ. නාම - රූප ධර්‍මයන් ගේ තමා වශයෙහි නො පවත්නා බව අවබෝධ වන හෙයිනි. එකල්හි මනාකොට ආත්මදෘෂ්ටිය පහවේ. ඒ යෝගීහට ප්‍ර‍ත්‍යය හෙයින් උදය දර්‍ශනයෙන් එවං ධම්මතානය ප්‍ර‍කට වේ. ප්‍ර‍ත්‍යයට අනුරූප හෙයින් ඵලයා ගේ උත්පාදය අවබෝධ වන හෙයිනි. එකල මනාකොට අක්‍රිය දෘෂ්ටිය දුරු වේ. ඒ යෝගීහට ප්‍ර‍ත්‍යය වශයෙන් උදය දර්‍ශනයෙන් අනාත්ම ලක්‍ෂණය ප්‍ර‍කට වේ. සංස්කාර ධර්‍මයන් ගේ උත්සාහ රහිත බව හා ප්‍ර‍ත්‍යය පිළිබඳ පැවතුම් ඇති බව අවබෝධ වන හෙයිනි. ක්‍ෂණ හෙයින් උදය - ව්‍යය දර්‍ශනයෙන් අනිත්‍ය ලක්‍ෂණය ප්‍ර‍කට වේ. ඇතිවැ නැති වන බව අවබෝධ වන හෙයින් හා පූර්‍වාන්ත - අපරාන්ත විවෙකය අවබෝධ වන හෙයිනි.

 

දුඃඛ ලක්‍ෂණය ද ප්‍ර‍කට වේ. උදය - ව්‍යය දෙකින් නැවැතැ නැවැතැ පෙළෙන බව අවබෝධ වන හෙයිනි. ස්වභාව ලක්‍ෂණ ද ප්‍ර‍කට වේ. උදය - ව්‍යය දෙකින් පිරිසිඳිනා ලද බව අවබෝධ වන හෙයිනි. පඨවි-ඵස්සාදි ස්වභාව ලක්‍ෂණයෙහි සඞ්ඛත ලක්‍ෂණයා ගේ ද තාවකාලික (පරිත්ත කාලික) බව ද ප්‍ර‍කට වේ. උදය ක්‍ෂණයෙහි ව්‍යයයාගේ ද, ව්‍යය ක්‍ෂණයෙහි උදයයාගේ ද අභාවය අවබොධ වන හෙයිනි.

 

මෙසේ ප්‍ර‍කට වූ සත්‍ය - ප්‍ර‍තිත්‍ය සමුත්පාද - නය අනිත්‍යාදි ලක්‍ෂණ ඇති ඒ යෝගීහට ‘පෙර නූපන් විරූ මේ ධර්‍මයෝ උපදිති. උපන් නාම - රූප ධර්‍මයෝ නිරුද්ධ වෙත්ය’ යි නිත්‍යයෙන් අලුතවූවන් වැ මැ සංස්කාරයෝ වැටහෙති. හුදෙක් නිත්‍ය නවකයන් වැ නොවැ හිරු උදාවන කල්හි තණ අග පිණිබිඳු මෙන් ද, දිය බුබුලක් මෙන් ද, දඬුයෙන් දියෙහි ඇඳි ඉරක් මෙන් ද, හිදි අග වැටුණු අබැටක් මෙන් ද, විදුලිය ගැසීමක් මෙන් ද, ස්වල්ප කලක් සිටින්නන්ව ද, ඉන්‍දජාත - මරිචි - ස්වප්න - අලාතවක්‍ර‍ - ගන්‍ධර්‍වනගර - ඵෙණ - කදලි ආදියක් මෙන් ද, අසාර වේය යි ද (නිස්සාර වේය යි) වැටහේ.

 

මෙපමණකින් මේ යෝගීහු විසින් ‘ව්‍යය ධර්‍ම වූයේ ම උපදී. උපන් නාම - රූප ධර්‍ම සමූහය විනාශයට පැමිණේය’යි මේ ආකාරයෙන් සමපණස් ලක්‍ෂණ ප්‍ර‍තිවේධ කොට පැවති උදය - ව්‍යයානුපස්සනා නම් වූ වන තරුණ විදර්‍ශනා ඥානය ලබන ලද්දේ වේ. ආරබ්ධ විදර්‍ශකය යි ගිණිමට යේ.

 

විශේෂ:- කලාප සන්මර්‍ශනාදි වශයෙන් පැවැති සන්මර්‍ශන ඥානය නිෂ්පර්‍ය්‍යායෙන් විදර්‍ශනා නම නො ලබයි. උදය - ව්‍යයානු දර්‍ශනාදි වශයෙන් පැවැති ඥානය ම විදර්‍ශනා ඥාන නම ලබ යි. එහෙයින් ආරබ්ධවිදර්‍ශකයා ය යි ගණයට යේයැ යි කියන ලදැයි යනු ටීකා යි.

 

අනතුරුවැ මේ තරුණ විදර්‍ශනාවෙන් පටන් ගත් විදර්‍ශනා ඇති ඒ යෝගීහට දස විදර්‍ශනොපකේලශයෝ උපදිත්.

 

ඒ විදර්‍ශනොපකේලශයෝ මාර්‍ග - ඵල ප්‍ර‍තිවේධ කළ ආර්‍ය්‍ය - ශ්‍රාවකයාට ද, සීලවිපත්ති ආදීන් විප්‍ර‍තිපන්න පුද්ගලයාහට ද නූපදිති. සම්‍යක් ප්‍ර‍තිපත්ති ඇති විදර්‍ශනා භාවනායෙහි යෙදුණු ආරබ්ධ විදර්‍ශක වූ කුලපුත්‍ර‍යාහට ම උපදිත්. ඒ දශ විදර්‍ශනොප- කේලශයෝ නම් (1) අවභාසය (2) ඥානය (3) ප්‍රීතියි (4) ප්‍ර‍ශ්‍ර‍බ්ධිය (5) සුඛය (6) අධිමොක්‍ෂය (7) වීර්‍ය්‍යය (8) උපෙක්‍ෂාය (10) නිකානතිය යන මොහු යැ.

 

(ඔභාසො පීති පස්සද්ධි - අධිමොක්ඛො ච පග්ගහො

සුඛං ඤාණමුපඪාන මුපෙක්ඛා ච නිකන්ති ච)

 

එහෙයින් වදාළහ.

 

“කථං ධම්මුද්ධච්චවිග්ගහිතමානසං හොති? අනිච්ච තො මනසිකරොති ඔභාසො උප්පජ්ජති, ඔභාසො ධම්මොති ඔභාසං ආවජ්ති, තතො වික්ඛෙපො උද්ධච්චං, තෙන විග්ගහිතමානසො අනිච්චතො උපට්ඨානං යථාභූතං නප්පජානාති. දුක්ඛතො -පෙ- අනත්තතො උපට්ඨානං යථා භූතං නප්පජානාති. තථා අනිච්චතො මනසිකරොතො ඤාණං උප්පජ්ජති -පෙ- පීති පස්සද්ධි - සුඛං - අධි - මොක්ඛො - පග්ගහො - උපට්ඨානං - උපක්ඛො - නිකන්ති - උප්පජ්ජති. නිකන්ති ධම්මොති නිකන්තිං ආවජ්ජති, තතො වික්ඛෙපො උද්‍ධච්චං, තෙන උද්‍ධච්චෙන විග්ගහිතමානසො අනිච්චතො උපටේඨානං යථාභූතං නප්පජානාති, දුක්ඛතො -පෙ- අනත්තතො උපට්ඨානං යථාභූතං නප්පජානාතීති”[768]

 

‘කෙසේ විදර්‍ශනොපකෙලෂයෙන් විරෝධයට පැමිණි සිත් ඇතිවේ ද

 

‘අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නහුන්ට ඔභාසය උපදී. ඔභාසය මාර්‍ගධර්‍මය යි සිතා ඒ ආලෝකය නිර්‍වාණයැ යි හෝ මාර්‍ගය යි හෝ ඵලය යි හෝ ආවර්‍ජනා කෙරේ. ඒ හේතුකොට ගෙන වූ වික්‍ෂේපය උද්ධච්ච ය යි. ඒ උද්ධච්චයෙන් මඩනා ලද සිත් ඇති යොගී තෙමේ අනිත්‍යහෙයින් වැටහීම තතු සේ නො දනී. දුක් වශයෙන් -පෙ- අනාත්ම වශයෙන් වැටහීම තතු සේ නො දනී. එසේම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන යෝගීහට ඤාණය උපදී. ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, අධිමොක්‍ෂය, වීර්‍ය්‍යය, සතිය, උපේක්‍ෂාව, නිකාන්තිය උපදී. නිකාන්තිය නිවන යැ මග යැ ඵලයැ යි ආවර්‍ජනා කෙරේ. ඒ අමාර්‍ගය මාර්‍ග ධර්‍මය යි ගැනීමෙන් පහළ වන වික්‍ෂේපය උද්ධච්ච නමි. ඒ උද්ධච්චයෙන් මඩනාලද සිත් ඇත්තේ අනිත්‍ය හෙයින් වැටහීම තතුසේ නො දනී. දුක් හෙයින් - අනාත්ම හෙයින් වැටහීම තතුසේ නො දනී’ යැ කියා යි.

 

විස්තර:- ඒ දශ විදර්‍ශනෝපකේලශයන් අතුරෙන්

 

(1) අවභාස නම්:- විදර්‍ශනා චිත්තයෙන් උපදනා එක්තරා ශරීරාලෝකයෙකි. ඒ උපන් කල්හි ඇතැම් යෝගාවචරයෙක් ‘පෙර මට මෙබඳු ආලෝකයෙක් නූපන්නේ යැ. එකාන්තයෙන් මාර්‍ගයට පැමිණියෙමි. ඵලයට පැමිණියෙමි’යි අමාර්‍ගයම මාර්‍ග යයි ද, අඵලය ම ඵලය යි ද ගනී. එසේ ගන්නහුන් ගේ විදර්‍ශනා භාවනාව අමාර්‍ගයට වැටුණේ වෙයි. හෙතෙම තමාගේ මුල් කර්‍මස්ථානය (විදර්‍ශනාව) හැර ආලෝකය ම ආස්වාදනය කෙරෙමින් හිඳී.

 

විශේෂ:- ඒ ආලෝකය ඇතැම් භික්‍ෂුවකට තමා උන් පර්‍ය්‍යඞ්කය පමණ තැන එළිය කෙරෙමින් උපදී. කිසිවකුට ඇතුළු ගබ පමණ ද, ඇතැමෙකුට ගැබින් පිටත ද, කිසිවකුට සියලු විහාරය ද, ගව්වක් - අඩ යොදුනක් - යොදුනක් - දෙ යොදුනක් - තුන් යොදුනක් පමණ ද, කිසිවකුට පොළොවෙහි පටන් අකනිට බඹලොව තෙක් ද, ඒකාලෝක කෙරෙමින් උපදී. භාග්‍යවතුන් වහන්සේට දසදහසක් සක්වළ ආලෝක කෙරෙමින් උපන්නේ යි.

 

අලෝකයා ගේ වෙනස් බව පිළිබඳවැ මේ කථාවෙකි. ‘සිතුල්පව් වෙහෙරැ දෙබිති ගෙයක් තුළ (ගර්‍හ භිත්තිය හා පිටත පිළ වඩා සිටි භිත්තිය) තෙරහු දෙනමෙක් හුන්හ. එදින කරුවල පොහෝ දිනය යි. දිගුන් වැසි වලාකුළින් වැසුණු මැදුම් රෑ චතුරඞ්ගසමන්නාගත අඳුර පවතී. එකල එක් තෙර නමෙක් ‘ස්වාමීණි! මට දැන් දාගැබ් මලුයෙහි සිංහාසනයෙහි පස්වණක් මල් පැනේය’ යි කී. ඕහට අනේක තෙර නම ‘ඇවැත්නි! ඒ ආශ්චර්‍ය්‍ය නො වේ. මට දැන් මහ මුහුදෙහි යොදුනක් තැන මස් කැස්බන් බොහෝ පෙනෙතැ යි’ කී.

 

මේ විදර්‍ශනෝපක්ලෙශය බොහෝ සේ සමථ - විදර්‍ශනාලාභීන් හට වේ.

 

හෙතෙම සමාපත්ති බලයෙන් විෂ්කම්භිත ක්ලේශයන් ගේ නො හැසිරීමෙන් “මම රහත්මි යි” සිත් උපදව යි. උස්වැලි නම් තැන වසන, මහානාග නම් තෙරුන්ට මෙනි. මෙහි ‘හැවක්’ වැසි මහාදත්ත තෙරුන්ට මෙන් ද, සිතුල්පව්වෙහි ‘නික පෙනෙක’ ප්‍ර‍ධන්ගෙයි වැසි චුල්ලසුමන තෙරුන්ට මෙන් ද වේ. මේ ඒ පිළිබඳ එක් කථා වස්තුවෙකි.

 

තලගුරු වෙහෙරැ ධම්මදින්න නම් සිවු පිළිසිඹියා පත් මහ රහත් තෙර කෙනෙක් විසූහ. උන් වහන්සේ බොහෝ භික්‍ෂු සංඝයාට අවවාද දෙන සේක. එක් දවසක් තමා දිවාස්ථානයෙහි වැඩහිඳ ‘අප ඇදුරු උස්වැලි වැසි, මහානාග ස්ථවිරයන් වහන්සේ ගේ මහණකම මුදුන් පැමිණියේ ද නැද්ද’ යි ආවර්‍ජනා කරන සේක් උන් වහ්නසේ පුහුදුන් බව දැන ‘මා නො ගියකල පුහුදුන්වැමැ කළුරිය කිරීම වන්නේය’ යි දැන අහසට සෘද්ධියෙන් පැන නැගී දිවාස්ථානයෙහි වැඩහුන් තෙරුන් සමීපයෙහි බැස වැඳ වත් දක්වා එකත්පසෙක වැඩහුන් සේක. ‘ඇවැත්නි! නො කල්හි ආයේ කිම්දැ’යි විචාළ කල ‘ස්වාමීනි! ප්‍ර‍ශ්න ඇසීමට ආයෙමියි’ කීහ. ‘ඇවැත්නි! විචාරව දන්නෙම් නම් කියමි’ යි කී කල ප්‍ර‍ශ්න දහසක් විචාළහ.

 

තෙරුන් වහ්නසේ විචාළ විචාළ ප්‍ර‍ශ්න නො පැකිල විසඳු සේක. එකල ‘ස්වාමීන් වහ්නසේගේ ඤාණය ඉතා තියුණු යැ. ‘නුඹ වහන්සේ කවර දා මේ ධර්‍මය අවබෝධ කළ සේක්දැ’යි විචාළ කළ ‘ඇවැත්නි! මෙයින් සැට වසරකට පෙරය’ යි කීහ. ‘ස්වාමීන් වහ්නසේ සමාධියට ද සමවදනා සේක්දැ’යි විචාළ කළ ‘එය අපට බරෙක් නො වේය’ යි වදාළහ. ‘ස්වාමීනි! එසේ වන්නා එක් ඇතකු මවනු මැනැවැ’යි කීහ. තෙරුන් වහන්සේ සව් සුදු ඇතකු මැවූහ. ‘ස්වාමීනි! දැන් මේ ඇතා කන් නිශ්චල කොට තබා නගුට දික් කොට ගෙන සොඬ මුවෙහි බහා බිහිසුණු සේ කුඤ්චනාද කරමින් ඔබ අභිමුඛයට එන ලෙසක් කළ මැනැවැයි’ කීහ. තෙරුන් වහන්සේ එසේ කොට වේගයෙන් තමා වෙත එන ඒ ඇතා ගේ බිහිසුණු අයුරු දැක නැගිට පැන යන්නට සැරසුණු සේක. රහත් තෙරුන් වහන්සේ උන් වහන්සේගේ සිවුරු කොන අල්වා ගෙන ‘ස්වාමීනි! රහතුන්ට තැති ගැනීමෙක් වේදැ’යි ඇසූ සේක. උන් වහන්සේ එකල තමා පුහුදුන් බව් දැන ‘ඇවැත් ධම්මදින්නයෙනි! මට පිහිට වෙව’යි කියා පාමුල උක්කුටියෙන් හුන් සේක. ‘ස්වාමීනි! නුඹ වහන්සේට පිහිටවීම සඳහාම ආමි, නහමක් සිතනු මැනැවැයි’ කමටහනක් වදාළ සේක. තෙරුන් වහන්සේ කමටහන් ගෙන සක්මනට නැගී තුන් වැනි පියවරෙන් අග්‍ර‍ඵලය වූ අර්‍හත්‍වයට පැමිණි සේක.

 

විශේෂ:- තෙරුන් වහ්නසේ ද්වේෂ චරිතයකි එබඳු භික්‍ෂූහු ආලෝකයෙහි කම්පාවෙති.

 

(2) ඥානය නම් විදර්‍ශනා ඥානය යි. නාම-රූප ධර්‍මයන් ප්‍ර‍මාණ කරන - විචාරණය කරන උදය - ව්‍යය වඩන ඒ යෝගී භික්‍ෂුවට හරන ලද වජ්‍රායුධය මෙන් නො පැකිළෙන වේග ඇති තියුණු ඉතා විශද වූ විදර්‍ශනා ඥානය උපදී.

 

(3) ප්‍රීතිය නම් විදර්‍ශනා ප්‍රීතිය යි. එකල ඒ යෝගීහට බුද්දික ප්‍රීතිය, ක්‍ෂණික ප්‍රීතිය, ඔක්කානික ප්‍රීතිය, උද්වෙග ප්‍රීතිය, ඵරණ ප්‍රීතිය යි මේ පස් වැදෑරුම් ප්‍රීතිය මුළු ශරීරය පුරමින් උපදී.

 

(4) ප්‍ර‍ශ්‍ර‍බ්ධිය නම් විදර්‍ශනා පස්සද්ධිය මැ යි. එකල රාත්‍රි ස්ථානයෙහි හෝ දිවා ස්ථානයෙහි හෝ හුන්නා වූ ඒ යෝගී හට කාය - චිත්ත දෙක්හි විඩාව්ක හෝ - බර බවක් හෝ කර්‍කශ බවක් හෝ - අකර්‍මණ්‍ය බවක් හෝ - ගිලන් බවක් හෝ - වඞ්ක බවක් හෝ නො වේ. එකල ඒ යෝගීහු ගේ කාය - චිත්තයෝ උද්ධච්චය සංසිඳීමෙන් සංසිඳුනාහු වෙති. ථීන - මිද්ධ දුරුවීමෙන් සැහැල්ලු වෙති. දිට්ඨි-මාන සංසිඳීමෙන් මෘදු වෙති. සෙසු නීවරණ සංසිඳීමෙන් කර්‍මණ්‍ය වෙති. අශ්‍ර‍ද්වාදිය සංසිඳීමෙන් නො ගිලන් වෙති. මායා - සාඨෙය්‍ය සංසිඳීමෙන් සෘජු වෙති. මේ පස්සද්ධි ආදියෙන් අනුගෘහිත කාය - චිත්ත ඇති ඒ යෝගී තෙමේ එකල අමානුෂ නම් වූ රතිය අනුභව කෙරේ.

 

“සුඤ්ඤාගාරං පවිට්ඨස්ස - සන්තචිත්තස්ස භික්ඛුනො

අමානුසීරති හොති - සම්මා ධම්මං විපස්සතො”

 

“යතො යතො සම්මසති - බන්‍ධානං උදයබ්බයං

ලභති පීති පාමොජ්ජං - අමතං තං විජානියා”

 

“ජන සුන් ගෙට පිවිස - විදසුන් වඩන නිසි සේ

සන්සුන් සිතැති මහණුට - නො මිනිස් පීති සුව වේ.

 

පස් කඳු උදා - වැය - නන් අයුරින් සිමිදුමින්

ලබන පී හා පමොදය - අමායැ යි දන්නෝ යෙති”

 

මෙසේ ඒ යෝගීහට (මනුෂ්‍යත්‍ථවය ඉක්ම සිටී) ඒ අමානුෂ රතිය (ඇල්ම) සිද්ධ කරන්නා වූ ලහුතාදීන් යා යුක්ත වූ පස්සද්ධිය උපදී.

 

(5) සුඛය නම් විදර්‍ශනා සුඛය යි ඒ යෝගීහට එ සමයෙහි මුළු සිරුර තෙමමින් ඉතා ප්‍ර‍ණීත වූ කිසි කලෙක නො වූ විරූ සුඛයෙක් උපදී.

 

(6) අධිමොක්‍ෂ නම් විදර්‍ශනා සම්ප්‍ර‍යුක්ත වූ බලවත් ශ්‍ර‍ද්ධාවයි. ඒ යෝගීහට එ කල්හි චිත්ත-චෛතසික ධර්‍මයන් අතිශය ප්‍ර‍සන්න භාවයට පමුණුවන ඉතා බලවත් ශ්‍ර‍ද්ධාව උපදී.

(7) ප්‍ර‍ග්‍ර‍හ නම් වීර්‍ය්‍යය යි. එ යෝගීහට එකල විදර්‍ශනා චිත්තය හා සම්ප්‍ර‍යුක්ත වූ ළිහිල් නො වූ ඉතා දැඩි ද නො වූ මනා කොට ගන්නා ලද වීර්‍ය්‍යය උපදී.

 

(8) උපට්ඨාන නම් සතිය යි. ඒ යෝගීහට විදර්‍ශනා චිත්තය හා සම්ප්‍ර‍යුක්ත වූ මනාවැ එළැඹැ සිටි මනාවැ පිහිටුවන ලද ඉන්‍ද්‍ර‍ඛීලයක් බඳුවූ ද, නිශ්චය පර්‍වත රාජයකු බඳුවූ ද සතිය උපදී. ඒ යෝගී යමක් යමක් ආවර්‍ජනා කෙරේ නම් ආභෝග - මනසිකාර - ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ නම් ඕහට ඒ ඒ නාම - රූපාදි කාරණය අනුවැ පැන විනිවිද ගොස් දිවැස් ඇත්තහුට පරලොව සේ සිහියට වැටහේ.

 

(9) උපේක්‍ෂාව නම් විදර්‍ශනෝපේක්‍ෂාව හා - ආර්‍වජ්නෝපේක්‍ෂාව යි. ඒ යෝගීහට සියලු නාම - රූප ධර්‍මයන් උදය - ව්‍යය වශයෙන් මනාවැ පරීක්‍ෂා කිරීමෙන් ඒ පිළිබඳ මධ්‍යස්ථ භාවයෙන් පැවැත්තේ විදර්‍ශනා උපේක්‍ෂාව ද බලවත්ව උපදී.

 

විශේෂ:- ඒ විදර්‍ශනා උපේක්‍ෂාවව නම් අර්‍ථ වශයෙන් එසේ පැවැති සංස්කාරයන් ගේ උදය - ව්‍යය වැටහීමෙන් මධ්‍යස්ථකාරයෙන් පැවැති තත්‍ර‍මජ්ඣත්තතා උපේක්‍ෂාවමැ යි. මනොද්වාරාවර්‍ජන චිත්තය හා සම්ප්‍ර‍යුක්ත වූ චේතනාව ආවර්‍ජනයෙහි මධ්‍යස්ථවැ පැවැත්මෙන් ආවර්‍ජන උපේක්‍ෂාය යි කියනු ලැබේ. හෙද ඒ ඒ තැන් ආවර්‍ජනය කරන ඒ යෝගීහට වුහුටු වජ්‍රායුධය මෙන් ද වියළි පත්‍ර‍පූටයෙක බහාලූ රත් කළ යහුලක් මෙන් ද ශූරවැ තීක්‍ෂණවැ පවතී.

 

(10)  නිකන්ති නම් විදර්‍ශනා චිත්තසම්ප්‍ර‍යුක්ත සියුම් තෘෂ්ණා යි. මෙසේ ඕභාසාදීන් ප්‍ර‍තිමණ්ඩිත විදර්‍ශනායෙහි ආලය කරමින් සියුම් වූ ශාන්තාකාර වූ නිකන්තිය ඒ යෝගීහට උපදී. විදර්‍ශනා භාවනාව අතිශයින් පැවැති හෙයින් ඉතා සියුම් හෙයින් ඒ නිකන්තිය ක්ලේශයෙකැ යි පිරිසිඳ දැකීමට ද නොහැකි වේ.

 

ඔභාසය විදර්‍ශනාවට අලඞ්කාරයක් වන්නාසේ ම ඒ ප්‍ර‍ඥාදීන් අතුරින් එකක් උපන් කල්හි ඒ යෝගී හට මෙයින් පෙරැ මෙ බඳු ඤාණයෙක් නූපදින්නේ ය. මෙ බඳු ප්‍රීතියෙක් - පස්සද්ධියෙක් - සුඛයෙක් - අධිමෝක්‍ෂයෙක් - ප්‍ර‍ග්‍ර‍හයෙක් - උපට්ඨානයෙක් - උපෙක්‍ෂාවෙක් - නිකන්තියෙක් නූපන්නේ යැ. ‘ඒකාන්තයෙන් මාර්‍ගයට පැමිණියෙමි. ‘ඵලයට පැමිණියෙමි‘ යි අමාර්‍ගය ම මාර්‍ග යැයි ද, අඵලය ම ඵල යැයි ද ගනී.

 

අමාර්‍ගය මාර්‍ගයයි ද, අඵලය ඵලයැයි ද ගන්නා ඒ යෝගීහු ගේ විදර්‍ශනා වීථිය ව්‍යත්ක්‍රාන්ත නම් වේ. ඒ යෝගී තමා ගේ ඒ විදර්‍ශනා කර්‍මස්ථානය හැරැපියා නිකන්තිය ම (ඒ ඕභාසාදියෙහි සියුම් ආසාව ම) ආස්වාදනය කරමින් හිඳී.

 

මේ දස උපක්ලේශයන් අතුරෙන් ඕභාසාදිය උපක්ලේශ වස්තු හෙයින් උපක්ලේශය යි කියන ලදී. අකුශල හෙයින් නොවේ.

 

එහෙත් නිකන්තිය උපක්ලේශය ද, උපක්ලේශ වස්තූහු ද වේ. මේ වස්තු වශයෙන් උපක්ලේශ දශයෙක් ම වේ. ඒ තෘෂ්ණා - දෘෂ්ටි - මාන ග්‍ර‍හ වශයෙන් සමතිසෙක් (30) වේ.

 

ඒ මෙසේයි:- ‘මට ආලෝකයක් උපනැ’යි ගත්තාහට සත්කායදෘෂ්ටි වශයෙන් ගැනීම වේ. ‘මනා ආලෝකයෙක් උපනැ’යි ගත්තාහට මාන වශයෙන් ගැනීම වේ. ආලෝකය ආස්වාදනය කිරීම් වශයෙන් තෘෂ්ණාව උපදී. මෙසේ ආලෝකයෙහි දෘෂ්ටි - මාන - තෘෂ්ණා වශයෙන් ගැනීම් තුනෙකි. සෙසු ඤාණාදියෙහි ද මෙසේමැ යි. මෙසේ ග්‍රාහ වශයෙන් සමතිස් උපක්ලේශ වේ. මොවුන් ගේ වශයෙන් අදක්‍ෂ අව්‍යක්ත යෝගී තෙමේ ඕභාසාදි නිමිත්තෙන් කම්පා වේ. වික්‍ෂිප්ත වේ. ඕභාසාදීන් අතුරෙන් එකක් එක් ම ‘මේ මාගේ ය යි ද, මේ මම වෙමැ යි ද, මේ මාගේ ආත්මයැ’ යි ද තෘෂ්ණා - මාන - දෘෂ්ටි වශයෙන් බල යි.

 

එයින් කීහ:- පැරැණියෝ, යම් ඕභාසාදියක් නිසා සිත කම්පා වේ නම් ඒ ඔභාස නිමිත්තෙන් ද, ඤාණ - පීති - පස්සද්ධි - සුඛ - නිමිත්තෙන් ද කම්පා වේ. අධිමෝක්‍ෂ නිමිත්තෙන් ද - ප්‍ර‍ග්‍රහ - උපට්ඨාන - උපේක්‍ෂා වශයෙන් බැලීමෙන් උපේක්‍ෂා නිමිත්තෙන් ද, නිකන්ති නිමිත්තෙන් ද කම්පා වේ. එහෙත් දක්‍ෂ - පණ්ඩිත - ව්‍යක්ත - බුද්ධිමත් යෝගී තෙමේ ඕභාසාදිය උපන් කලැ මට මේ ආලෝකයෙක් උපන. හෙද වැලිත් අනිත්‍ය ය, සඞ්ඛත යැ, පටිච්චසමුප්පන් යැ, ක්‍ෂය වන සුලු යැ, ව්‍යය වන සුලු යැ, නැසෙන සුලු යැ, නිරුද්ධ වන සුලුයැ යි මෙසේ එය පරීක්‍ෂා කෙරේ.

 

තවද මේ ආලෝකය ආත්මය වේ නම් ආත්මය යි ගන්නට වටනේ යි. වැලි අනාත්මවූ ම මේ ආලෝකය ආත්මය යි ගන්නා ලද්දේ යැ. ඒ ආලෝකය තමා වශයෙහි නො පවත්නා හෙයින් අනාත්ම යැ. ඇතිවැ නැති වන අර්‍ථයෙන් අනිත්‍ය යැ. උදය - ව්‍යය දෙක්හි පෙළෙන අර්‍ථයෙන් දුක්යැ යි’ (අරූප සප්තකයෙහි (යට) කී නයින් සියල්ල විස්තර කටයුතු) ඕභාසයෙහි මෙන් සෙස්සෙහි ද මෙසේ බැලිය යුතු. ඒ යෝගී තෙමේ මෙසේ පරීක්‍ෂා කොට ‘ඒ ඕභාසය මාගේ නො වේ’ යි ද ‘ඒ ඕභාසය මම් නො වෙමි යි ද, ඒ මාගේ ආත්මය නොවේ’ ය යි ද බලයි.

 

එසේ ම- ‘ඒ ඤාණය ද -පෙ- ඒ නිකන්තිය ද ‘මාගේ නො වේ, ‘ඒ මම නො වෙමි’ ‘ඒ මාගේ ආත්මය නො වේය’ යි බල යි. මෙසේ බලන්නේ ඔභාසාදියෙහි කම්පා නො වේ. තැති නො ගනී.

 

එයින් කීහ පැරැණියෝ:- මේ ඔභාසාදි දශ උපක්ලේශ නුවණින් පුරුදු කළ යෝගී තෙමේ ‘ඒ ආලෝකාදියෙහි ධර්‍මය’ යි පැවැති වික්‍ෂේප දැනීමෙහි දක්‍ෂ වූයේ වික්‍ෂේපයට නො පැමිණේ. ඒ යෝගී තෙමේ මෙසේ වික්‍ෂේපයට නො ගොස් ඒ සමතිස් (30) වැදෑරුම් උපක්ලේශ ජටාව විජනය කොට ඕභාසාදි ධර්‍මය මාර්‍ගය නො වේ. එහෙත් ඒ උපක්ලේශයෙන් මිදුනු විදර්‍ශනා වීථියට පිළිපන් විදර්‍ශනා ඥානය ම මාර්‍ගය යි ද, අමාර්‍ගය ද ව්‍යවස්ථා කෙරේ. මෙසේ ඒ යෝගී හු ගේ මේ මග යැ මේ නො මගයැ යි මාර්‍ගය ද, අමාර්‍ගය ද දැන සිටි නුවණ “මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය යි” කියනු ලැබේ.

 

මෙතෙකින් ඒ යෝගියා විසින් සත්‍ය තුනෙක් ව්‍යවස්ථා කරන ලදි.

 

ඒ මෙසේයි :- දිට්ඨිවිසුද්ධියෙහි නාම - රූප ව්‍යවස්ථාපනය කිරීමෙන් පළමු කොට දුඃඛසත්‍යය ව්‍යවස්ථා කෙළේ යැ.

 

කඞ්ඛාවිතරණ විසුද්ධියෙහි ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හණයෙන් සමුදය සත්‍යය ව්‍යවස්ථා කෙළේ යැ.

 

මේ මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධියෙහි මනාවැ මාර්‍ගය ව්‍යවස්ථා කිරීමෙන් මාර්‍ග සත්‍යය ව්‍යවස්ථා කෙළේ යි. මෙසේ ලෞකික ඥානයෙන් ම ත්‍රිවිධ සත්‍යයන් ව්‍යවස්ථා කෙළේ වෙයි.

 

 

මෙසේ සාධුජනයා ගේ ප්‍රමෝදය පිණිස කළ විශුද්ධි මාර්‍ගයෙහි

ප්‍ර‍ඤාභාවනාධිකාරයෙහි මාර්‍ගමාර්‍ගඤාණදර්‍ශන විශුද්ධි නම් වූ

විසි වැනි පරිච්ඡේදය නිමියේ යි.

 


21 වන පරිච්ඡේදය

ප්‍ර‍තිපදාඥානදර්ශනවිශුද්ධි නිර්දේශය

 

“උදය - ව්‍යය ඥානයෙහි පටන් සංස්කාරරොපේක්‍ෂාඥානය තෙක් පැවැති අෂ්ටවිධ ඥානයන් ගේ වශයෙන් විදර්‍ශනා වාරයා ගේ මස්තක ප්‍රාප්තියෙන් ඒ අටවැනි සංස්කාරො-පෙක්‍ෂා ඥානය ශිඛා ප්‍රාප්ත විදර්‍ශනා නම් වේ. නව වැනි සත්‍යානුලොමිකඥානය ද සමග මේ නවය ප්‍ර‍තිපදාඥාන දර්‍ශනවිසුද්ධි නම් වේ.

 

ඒ මෙසේයි:- මෙහි ඕභාසාදි දශ විදර්‍ශනොපක්ලේශයන්ගෙන් මිදුණා වූ විදර්‍ශනා චිත්ත වීථියට  බැස ගත් හෙයින් විදර්‍ශනාය ය කියන ලදි.

 

(1) උදයව්‍යයානුදර්‍ශනඥානය

(2) භඞ්ගානුදර්‍ශනඥානය

(3) භයතුපස්ථානඥානය

(4) ආදීනවානුදර්‍ශනඥානය

(5) නිර්විදානුදර්‍ශනඥානය

(6) මුඤ්චිතුකාම්‍යතාඥානය

(7) ප්‍ර‍තිසඞ්ඛ්‍යානුදර්‍ශනඥානය

(8) සංස්කාරොපේක්‍ෂඥානය දැ යි මේ අෂ්ට ඥානයෝ දතයුතු වෙත්.

(9) සත්‍යානුලෝමික ඥානය යනු අනුලෝම ඥානයට නමෙකි.

 

විස්තර:- උදය-ව්‍යය දැනීම් අර්‍ථයෙන් හා ප්‍ර‍ත්‍යක්‍ෂ හෙයින් දැකීම් අර්‍ථයෙන් ද ඥාන දර්‍ශනය යි. ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මයන්ගෙන් විශුද්ධ වූ හෙයින් ඥාන දර්‍ශන විශුද්ධි නම් වූ එයම මෙයින් ආර්‍ය්‍ය මාර්‍ගයට පිළිපදිනුයි ප්‍ර‍තිපදා ඥාන දර්‍ශන විශුද්ධිය යි කියන ලදී.

 

ඒ වූ කලී උපන් මාත්‍ර‍ වූ ප්‍ර‍ගුණ නො වූ නුවණ සඳහා කියන ලදි. ප්‍ර‍ගුණ වූයේ නිත්‍ය සංඥාදීන් ගේ ප්‍ර‍හාණයෙන් සිද්ධ වු ප්‍ර‍හාණ පරිඥාවට අධිෂ්ඨාන වූයේ වෙයි. ඒ අධිගමයෙන් අටළොස් මහා විදර්‍ශනාවන් අතුරින් ඇතැම් විදර්‍ශනාවක් අධිගත වේ. ‘උදය-ව්‍යයයන් ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් ප්‍ර‍තිවේධ නො කොට සාමාන්‍යාකාරය නො වේය’යි තීරණ මාත්‍රයෙන් අතිශයින් ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මයන් ගේ ප්‍රාහාණය සමභව නොවේ. ප්‍ර‍තිපක්‍ෂ ප්‍ර‍හාණය නැති කල ඥානයන් ගේ වජ්‍ර‍යක් සේ නො නසන ලද වෙගත්‍වය ද, තීක්‍ෂණ විෂදත්‍වය ද, කොයින් වේ ද, එහෙයින් ප්‍ර‍ගුණ භාවයට පැමිණ උදය-ව්‍යය ඥානය ප්‍ර‍හාණ පරිඥා පාක්ෂික වූයේ ම දතයුතු. (යනු ටීකායි.)

 

එහෙයින් ඒ අනුලෝම ඥානය සම්පාදනය කරනු කැමැති යොගී විසින් උපක්ලේශ විනිර්මුක්ත වූ උදය - ව්‍යයඥානය ආදී කොට ඇති මේ අෂ්ටවිධ ඥානයෙහි යෝග කටයුතු යි.

 

ප්‍ර‍ශ්නයෙකි:- නැවත උදය - ව්‍යය ඥානයෙහි යෙදීම කුමක් පිණිස ද

 

පිළිතුර :- ත්‍රිලක්‍ෂණය සැලකීම පිණිස යි.

 

විස්තර:- යට කී දශ උපක්ලේශයන්ගෙන් කිලිටි වී මොට වූ උදය-ව්‍යය ඥානය යථා ස්වභාවයෙන් අනිත්‍යාදි ත්‍රිලක්‍ෂණය සලකා ගැනීමට අසමර්‍ථ යැ. උපක්ලේශ විනිර්මුක්ත වූයේ ම සමර්‍ථ වේ. එහෙයින් ම ලක්‍ෂණ සැලකීම පිණිස මෙහිදී නැවත ද යෝග වැඩිය යුතු.

 

විශේෂ:- කුමක් මෙනෙහි නො කිරීමෙන් කුමකින් වැසුණු හෙයින් ලක්‍ෂණ නො වැටහේ ද යත්:- අනිත්‍ය ලක්‍ෂණය උදය-ව්‍යය මෙනෙහි නො කිරීමෙන්, සන්තතියෙන් වැසුණු හෙයින් නො වැටහේ. දුඃඛ ලක්‍ෂණය සංස්කාරයන් නිතර පීඩා කරන බව මෙනෙහි නො කිරීමෙන් සතර ඉරියව්වෙන් වැසුණු හෙයින් නොවැටහේ. අනාත්ම ලක්‍ෂණය නා නා ධාතූන් වෙන්කොට මෙනෙහි නො කිරීමෙන් ඝනයෙන් වැසුණු හෙයින් නො වැටහේ.

 

උදය-ව්‍යය මෙනෙහි කොට සන්තතිය ඉගිලවීමෙන් අනිත්‍ය ලක්‍ෂණය යථා ස්වභාවයෙන් වැටහේ. සංස්කාරයන් නිතර නිතර පෙළෙන බව මෙනෙහි කොට ඉරියව්වෙන් වැසුණු බව ඉගිළ වූ කළ දුඃඛ ලක්‍ෂණය යථාස්වභාවයෙන් වැටහේ. පෘථිව්‍යාදි නා නා ධාතූන් විනිර්භෝග කොට ඝනය බිඳීම කළ කල්හි අනාත්ම ලක්‍ෂණය යථා ස්වභාවයෙන් වැටහේ.

 

විස්තර:- අන්‍යොන්‍ය සම්බන්‍ධ රූප-අරූප ධර්‍මයන් එකක් වශයෙන් ගැනීම වූ සමූහ ඝනය ද, ඒ ඒ ධර්‍මයනට ප්‍ර‍තිනියත කෘත්‍ය භේදයෙන් ඒකත්‍වයෙන් ගැනීම වූ කෘත්‍ය ඝනය ද, ඒ ආලම්බන සහිත ධර්‍මයන් ආලම්බන භේදයෙන් ඒකත්‍වයෙන් ගැනීම වූ ආලම්බන ඝනයදැ යි ඝනය ත්‍රිවිධ වේ. ‘මොහු හැම දෙන ම වෙන් වෙන්වැ ධාතු ආදී වශයෙන් වැටහෙන කල්හි අතින් පිරිමදින ලද පෙන පිඩක් සේ විනාශයට යෙති’යි ද ‘ප්‍ර‍ත්‍යය ලාභයෙන් පවත්නා ශූන්‍ය ධර්‍මමාත්‍ර‍යැ’යි තතු සේ අනාත්ම ලක්‍ෂණය අතිශයින් ප්‍ර‍කටවැ වැටහේ.

 

නැවත මෙහි අනිත්‍යය, අනිත්‍ය ලක්‍ෂණය, දුඃඛය, දුඃඛලක්‍ෂණය, අනාත්මය, අනාත්ම ලක්‍ෂණය යි මේ විභාගය දතයුතු. ඔවුනතුරින් අනිත්‍යය නම් ස්කන්‍ධ පඤ්චකය යි. කුමක් හෙයින් ද යත්:- විනාශය, අන්‍යථත්‍වය යන ස්වභාවය ඇති හෙයිනි. ඇතිවැ නැති වන හෙයින් හෝයි (මෙහි පූර්‍ව නයින් ජාති - ජරා - මරණ ස්වභාවයෙන් ද දෙවන නයින් මිහිකිරීම් - ව්‍යයවීම් ස්වභාවයෙන් ද අනිත්‍යය දැක්වූහ.)

 

උත්පාද-ව්‍යය අන්‍යථාත්‍වය (ජාති-ජරා-මරණ) යන මේ අනිත්‍ය ලක්‍ෂණය යි. ඉපිද නැතිවීමය යි කියන ලද ආකාර විකාරය හෝ අනිත්‍ය ලක්‍ෂණය යි.

 

යදනිච්චං තං දුක්ඛඃ[769] යමක් අනිත්‍ය නම් ඒ දුකැ යි’ වදාළ හෙයින් එම ස්කන්‍ධ පඤ්චකය ම නිරන්තරයෙන් පෙළන හෙයින් දුක් නම් වේ. ඒ නිතර පෙළෙන ආකාරය දුඃඛ ලක්‍ෂණය යැ.

 

යසං දුක්ඛං තදනත්තා1 යමක් දුක් නම් ඒ අනාත්මය යි වදාළ හෙයින් ඒ ස්කන්‍ධ පඤ්චකයම වශයෙනි නො පවත්නා හෙයින් අනාත්ම ලක්‍ෂණය යි.

 

මේ යෝගී තෙමේ මෙකී ලක්‍ෂණ හා ලක්‍ෂණයෙන් යුත් පඤ්චස්කන්‍ධය ද යන මේ සියල්ල උපක්ලේශයෙන් මිදුණු වීථියට පිළිපන් විදර්‍ශනා සඞ්ඛයාත උදය-ව්‍යයානුදර්‍ශනඥානයෙන් යතා ස්වභාවයෙන් සලකයි. මෙසේ සලකා නැවත - නැවත අනිත්‍යයැ, දුඃඛ යැ, අනාත්මය යි රූප-අරූප ධර්‍මයන් (තරාදියෙහි කිරන්නාක් මෙන්) නිශ්චය කරන - තීරණය කරන ඒ යෝගීහට ඒ විදර්‍ශනා ඥානය තියුණුව පවතී. සංස්කාරයෝ සැහැල්ලුවැ වැටහෙති.

 

විදර්‍ශනා ඥානය තියුණුවැ පවත්නා කල්හි සංස්කාරයන් සැහැල්ලුවැ වැටහෙන කල්හි ඉපදීමට හෝ ස්ථිතියට හෝ පැවැත්මට හෝ සංස්කාර නිමිත්තට හෝ නො පැමිණේ. ක්‍ෂය-ව්‍යය භේද සඞ්ඛ්‍යාත නිරෝධයෙහි ස්මෘතිය පිහිටයි. ‘සංස්කාරයන් මෙසේ ඉපිද මෙසේ නිරුද්ධ වෙති’යි දක්නා වූ යෝගීහට පෙර කී සේ උදය හැර ව්‍යයම මෙනෙහි කරන කල්හි ‘භඞ්ගානුපස්සනා නම්’ විදර්‍ශනා ඥානය උපදී.

 

එහෙයින් කියන ලදි.

 

“කථං ආරම්මණපටිසඞ්ඛාභඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං. රූපාරම්මණතා චිත්තං උප්පජ්ජිත්‍වා භිජ්ජති. තං ආරම්මණං පටිසඞ්ඛා තස්ස චිත්තස්ස භඞ්ගං අනුපස්සති. අනුපස්සතීති කථං අනුපස්සති? අනිච්චතො අනුපස්සති නො නිච්චතො. දුක්ඛතො අනුපස්සති නො සුඛතො. අනත්තතො අනුපස්සති නො අත්තතො. නිබ්බින්‍දති නො නන්‍දති. විරජ්ජති නො රජ්ජති. නිරොධෙති නො සමුදෙති. පටිනිස්සජති නො ආදියති අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති. දුක්කතො අනුපස්සන්තො සුඛ සඤ්ඤං අනිත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං-නිබ්බින්‍දන්තො නන්‍දිං - විරජ්ජන්තො රාගං - නිරොධෙන්තො සමුදයං - පටිනිස්සජන්තො අදානං පජහති. වෙදනාරම්මණතා -පෙ- සඤ්ඤාරම්මණතා -පෙ- සඞ්ඛාරම්මණතා -පෙ- විඤ්ඤාණරම්මණතා -පෙ- සක්ඛාරම්මණතා -පෙ- විඤ්ඤාණාරාම්මණතා -පෙ- චක්ඛාරම්මණතා -පෙ- ජරා- මරණාරම්මණතා චීත්තං උප්පජ්ජිත්‍වා භිජ්ජති. -පෙ- පටිනිස්සජන්තො ආදානං පජහති.[770]

 

‘රූප-වේදනාදි අරමුණු ක්‍ෂය-ව්‍යය වශයෙන් දැන ඒ ආලම්බන චිත්තයා ගේ ද භඞ්ග වශයෙන් දක්නා ප්‍ර‍ඥාව විදර්‍ශනා ඥානය නම් වේ.

 

ඒ මෙසේයි:- රූපාලම්බන භාවයෙන් සිත ඉපිද බිඳුණු කලැ ඒ අරමුණු දැන ඒ චිත්තයා ගේ භඞ්ගය අනුව බල යි. කෙසේද යත්:- අනිත්‍ය හෙයින් (අනුවැ) බල යි. නිත්‍ය හෙයින් නො බලයි. දුක් හෙයින් (අනුවැ) බල යි. සැප හෙයින් නො  බලයි. අනාත්ම හෙයින් (අනුවැ) බල යි. ආත්ම හෙයින් නො බලයි. කළ කිරෙයි. සතුටු නො වේ. නො ඇලෙයි. නො රැඳෙයි. නිරුද්ධ කෙ රෙයි. නූපදව යි. දුරු කෙරෙයි. නො ගනී. අනිත්‍ය හෙයින් බලන්නේ නිත්‍ය සංඥාව දුරු කෙරේ. දුක් හෙයින් (අනුවැ) බලන්නේ සුඛ සංඥාව දුරු කෙරේ. අනාත්ම හෙයින් (අනුවැ) බලන්නේ ආත්ම සංඥාව දුරු කෙරේ. කළකිරුණේ සතුට දුරු කෙරේ. නො ඇලුණේ රාගය දුරු කෙරේ. නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරේ. අත හරිනුයේ ආදානය දුරු කෙරේ. වේදනාරම්මණයෙහි -පෙ- සංඥාරම්මණයෙහි -පෙ- සඞ්ඛාරාරාමණයෙහි - විඤ්ඤාණාරම්මණයෙහි චක්ඛාරම්මණයෙහි -පෙ- ජරා - මරණාරම්මණයෙහි සිත ඉපිදී බිඳෙයි. -පෙ- සමුදය දුරු කරනුයේ ආදානය දුරු කෙරේ.

 

ඒ ධර්‍ම සමූහය දන්නා අර්‍ථයෙන් ඤාණ නමි. සර්‍වප්‍ර‍කාරයෙන් දන්නා අර්‍ථයෙන් ප්‍ර‍ඥා නම. එහෙයින් “ආරම්මණ පටිසඞ්ඛාභඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙඤාණං” යී කියා යි.

 

එහි පදයක් පාසා අර්‍ථය මෙසේ යි:-

 

ආරම්මණ පටිසඞ්ඛා = යම් අරමුණක් ක්‍ෂය-ව්‍යය වශයෙන් දැන

 

භඞ්ගානුපස්සනෙපඤ්ඤා = ඒ ආලම්බනය ක්‍ෂය-ව්‍යය වශයෙන් බැලීමෙන් උපන් ඤාණයා ගේ යම් භඞ්ගයෙක් වේ නම් ඒ භඞ්ගය අනුව බැලීමෙන් උපන් ප්‍ර‍ඥාව.

 

විපස්සනෙ ඤාණං = විදර්‍ශනා ඥානය යි.

 

ඒ මෙසේ යි:- රූපාරම්මණතා චිත්තං උප්පජ්ජිත්‍වා භිජ්ජති = රූපය අරමුණු කොට ඇති සිත ඉපිද බිඳේ. නොහොත් රූපා-රම්මණ භාවයෙහි සිත ඉපිද බිඳේ.

 

තං ආරම්මණං පටිසඞ්ඛා = ඒ රූපාලම්බනය ක්‍ෂය වශයෙන් ව්‍යය වශයෙන් දැක.

 

තස්ස චිත්තස්ස භඞ්ගං අනුපස්සති = ඒ රූපාලම්බනය ක්‍ෂය-ව්‍යය වශයෙන් දක්නා ලද සිතෙහි භඞ්ගය අන්‍ය සිතකින් බල යි.

 

එහෙයින් “ඤාතං ච ඤාණං ච උභො විපස්සති = දක්නා ලද අරමුණ ද, ඒ අනුපස්සනා වශයෙන් දක්නා ලද ඤාණය ද යන දෙක ම ක්‍ෂය-ව්‍යය බලායැ යි පැරැණියෝ කීහ.

 

එහි අනුපස්සති යනු (අනු-අනුපස්සති) අනිච්චානුපස්සනාදී නොයෙක් ආකාරයෙන් නැවැතැ-නැවැතැ බල යි යන අර්‍ථ යි.

 

එහෙයින් කීහ:- අනුපස්සතීති කථං අනුපස්සති අනිච්චතො අනුපස්සති = කෙසේ බලා ද අනිත්‍ය වශයෙන් බල යි යනාදිය.

 

එහි භඞ්ගය නම් අනිත්‍යය පිළිබඳ අන්තිම කෙළවර ය. එහෙයින් ඒ භඞ්ගය අනුව බලන යෝගී තෙමේ සියලු සංස්කාර ජාතය අනිත්‍ය වශයෙන් අනුව බලයි. නිත්‍ය වශයෙන් නො බලයි.

 

අනතුරුව අනිත්‍ය දුක් වන බැවින්, දුක්ඛය අනාත්ම වන හෙයින් ඒ සංස්කාර ගත ය දුක් වශයෙන් අනුව බල යි. සැප වශයෙන් නො බලයි. අනාත්ම වශයෙන් අනුව බල යි. ආත්ම වශයෙන් නො බලයි.

 

යම් හෙයකින් යමක් අනිත්‍ය - දුක්ඛ - අනාත්ම නම් එය තෘෂ්ණා - දෘෂ්ටි ආදි වශයෙන් අභිනන්‍දනය නො කට යුතු යි. යමක් අභිනන්‍දනය නො කට යුතු නම් එහි නො ඇලිය යුතු යි. එහෙයින් භඞ්ගානුපස්සනානුසාරයෙන් අනිත්‍යය, දුඃඛය, අනාත්මය යි දක්නා ලද සංස්කාර ජාතයෙහි කළකිරේ. සතුටු නොවේ නො ඇලේ. නො රැඳේ.

 

ඒ යෝගී තෙමේ මෙසේ නො ඇල්ලෙන් පළමු කොට ලෞකික ඥානයෙන් ම රාගය නිරුද්ධ කෙරේ. සමුදය නො කෙරේ. තෘෂ්ණාව නූපදවයි යන අර්‍ථ යි. නොහොත් මෙසේ විරක්ත වූ යේ දක්නා ලද සඞ්ඛාර ජාතය මෙන් නො දක්නා ලද අනිත්‍යාදී සඞ්ඛාර ද අනුමානඥාන වශයෙන් ම මෙනෙහි කරයි. නිරොධය ම බල යි. සමුදය නො බලයි. යන අර්‍ථ යි. මෙසේ පිළිපන් ඒ යෝගී තෙමේ සංස්කාරයන් දුරු කෙරේ. නො ගනී.

 

නිර්‍ණය:- මේ අනිත්‍යාදී අනුපස්සනාව තදඞ්ග වශයෙන් ස්කන්‍ධාදි අභිසංස්කාරයන් සමග කෙලෙසුන් පහ කරන හෙයින් පරිච්චගාපටිනිස්සග්ගය යි ද, සංස්කාර ධර්‍මයන් ගේ දොස් දැකීමෙන් ද, සංස්කාර ධර්‍මයනට විපරීත වූ නිර්වාණයෙහි තන්නින්න භාවයෙන් පක්ඛන්‍දනය වන හෙයින් ද  පක්ඛන්‍දපටිනිස්සග්ගයයි ද කියනු ලැබේ.

 

එහෙයින් ඒ අනිත්‍යාදි අනුපස්සනාවෙන් යුක්ත වූ භික්‍ෂු තෙමේ පෙර කී තදඞ්ගාදී ක්‍ර‍මයෙන් කෙලෙසුන් දුරු කෙරේ. නිර්වාණයට පිවිසේ. ඉපදවීම් වශයෙන් කෙලෙසුන් ඇද නො ගනී. දොස් නො දැකීම වශයෙන් සංස්කාරාරම්මණයන් නො ගනී. “පටිනිස්සජතා නො ආදියති” යි එහෙයින් කිය යි.

 

දැන් ඒ යෝගීහු ගේ ඒ අනිත්‍යානුදර්‍ශන ඥානයෙන් නිත්‍ය සංඥාදි ප්‍ර‍හාණය වන ධර්‍මයන් දැක්වීම පිණිස “අනිච්චතො අනුපස්සන්තො නිච්ච සඤ්ඤං පජහති” යනාදිය කියන ලදි. (අර්‍ථ පෙර කී සේ මැ යි.) මෙහි නන්‍දි නම සප්‍රීතික තෘෂ්ණා යි.

 

විශේෂ:- මෙහි අනිත්‍ය ග්‍ර‍හණය සංඥා ශීර්‍ෂයෙන් නිර්දේශ යැ. සෙස්සෙහි ද මෙසේමැ යි.

 

“වත්‍ථුසඞ්කමනාචෙව - සඤ්ඤාය ච විවට්ටනා

ආවජ්ජනා බලඤ්චෙව - පටිසඞ්ඛා විපස්සනා

ආරම්මණත්‍වයෙනාපි - උභො එකවවත්‍ථනා

නිරොධෙ අධිමුත්තතා - වයල්කඛණවිපස්සනා

ආරම්මණඤ්ච පටිසඞ්ඛා - භඞ්ඟඤ්ච අනුපස්සති

සුඤ්ඤතො ච උපට්ඨානං - අධිපඤ්ඤවිපස්සනා

කුසලො තීසු අනුපස්සනාසු - චතස්සො චවිපස්සනාසු

තයො උපට්ඨානෙ කුසලතා - නනාදීට්ඨිසු න කම්පතීති”[771]

 

‘පූර්‍ව වස්තුවෙන් අපර වස්තුවට සංක්‍ර‍මණය ද සංඥා පෙරැළීම ද, ආවර්‍ජනා  බලය ද ප්‍ර‍තිසඞ්ඛාවිදර්‍ශනා යැ,

 

‘අරමුණය අනුවැ යාමෙන් අතීත අනාගත සංස්කාරයන් ඒකසම භාවයෙන් විනිශ්චය කිරීම ද, භඞ්ගඞ්ඛ්‍යාත නිරෝධයෙහි අධිමුත්ත බව ද ව්‍යලක්‍ෂණවිදර්‍ශනා යැ.

 

‘පූර්‍ව රූපාදී අරමුණු දැන ඒ අරමුණෙහි භඞ්ගය බැලීම ද, සංස්කාරයන් ශූන්‍ය වශයෙන් වැටහීම ද අධිප්‍ර‍ඥාවිදර්‍ශනා යි.’

 

‘අනිත්‍යාදි ත්‍රිවිධ අනුපස්සනාහි ද, නිර්විදාදි චතුර්විධ විදර්‍ශනාහි ද දක්‍ෂ වූ යෝගීතෙමේ ක්‍ෂය - ව්‍යය - ශූන්‍යතා යන ත්‍රිවිධ උපස්ථානයෙහි දක්‍ෂ බැවින් නොයෙක් මිථ්‍යාදෘෂ්ටීන්හි කම්පා නො වේ.’

 

ගාථාවන්හි විශේෂාර්‍ථ මෙසේ යි:- වත්‍ථුසඞ්ඛමනා = (විදර්‍ශනාවට ප්‍ර‍වෘත්ති ස්ථාන හෙයින් රූපාදි ආලම්බනය වස්තු නමි. එසේ රූපයා ගේ භඞ්ගය දැක නැවත ඒ භඞ්ගය දක්නා ලද සිතෙහි ද භඞ්ගය දැකීම් වශයෙන්) පළමු වස්තුවෙන් අන්‍ය වස්තුවකට සංක්‍ර‍මණය වීමෙන්; පඤ්ඤාය ච විවට්ටනා = (උදය හැර ව්‍යයයෙහි) විදර්‍ශනා ප්‍ර‍ඥාව මනාව පිහිටීමෙන්, ආවජ්ජනාබලඤ්චෙව = (රූපාලම්බනයා ගේ භඞ්ගය දැකැ නැවත ඒ භඞ්ගය අරමුණු කරන චිත්තයාගේ ද භඞ්ගය දැකීම පිණිස) ආවර්‍ජනා කිරීමෙහි සමර්‍ථ බව, පටිසඞ්ඛාවිපස්සනා = මේ ආරම්මණ පටිසංඛා විපස්සනා නම් වේ.

 

ආරම්මණාන්‍වයෙනාපි උභො එකවවත්‍ථානා = (ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් දක්නා ලද) අරමුණු අනු වැ යාමේන (වර්‍තමාන ස්කන්‍ධ පඤ්චකය බිඳෙන්නා සේ) අතීතයෙහි ද, අනාගතයෙහි ද, සංස්කාර බිඳේ ය යි දිට්ඨ - අදිට්ඨ දෙදෙනා ගේ ක්‍ෂණ භඞ්ගාදි එක ස්වභාවයෙන් විනිශ්චය කිරීම යැ.

 

එයින් කීහ පැරැණියෝ :-

 

“සංවිජ්ජමානම්හි විසුද්ධ දස්සනෙ

තදන්‍වයං නෙති අතීත‘නාගතෙ

සබ්බෙපි සඞ්ඛාරගතා පලොකිනො

උස්සාවබින්‍දු සුරියෙව උග්ගතො”

 

‘වර්‍තමාන ස්කන්‍ධයන් ගේ භඞ්ග දර්‍ශනය ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් පරිශුද්ධවැ පවත්නා කල්හි

 

ඒ ඥානයට අනුවැ අතීත වූ ද, අනාගත වූ ද, ස්කන්‍ධයන් ගේ භඞ්ග ඥානය පවතී. සියලු සංස්කාර ධර්‍මයෝ ම හිරු නැගි කල තණ අග පිණි බිඳු සේ විනාශ වන සුලු වෙත්’ ය යි දකී.

 

නිරොධෙ අධිමුත්තතා = (මෙසේ දෘෂ්ට වූ ද, අදෘෂ්ට වූ දැ යි ද්විවිධ සංස්කාරයන් භඞ්ග වශයෙන් ඒකාන්තයෙන් ව්‍යවස්ථා කොට ඒ භඞ්ග සඞ්ඛ්‍යාත) නිරෝධයෙහි  අධිමුක්ත බව (ගරු කොට ඇති බව, එයට නැමුණු බව, අවනත බව, අභිමුඛ බව) යැ.

 

විශේෂ:- මෙහි නිරෝධ නම් සංස්කාර නිරෝධ යැ, අසඞ්ඛත ධාතුව (නිර්‍වාණය) නො වේ.

 

වයලක්ඛණවිපස්සනා = විපරිණාම ලක්‍ෂණ භඞ්ගානුදර්‍ශන විදර්‍ශනාව යි.

 

ආරම්මණඤ්ච පටිසඞ්ඛා භඞ්ගඤ්ච අනුපස්සති = (භඞ්ගානු දර්‍ශන වශයෙන්) රූපාදි අරමුණු දැන (ඒ ආලම්බනයාගේ භඞ්ගය දැක ඒ භඞ්ගය ආලම්බන කළ චිත්තයාගේ ද) භඞ්ගය දකී.

 

සුඤ්ඤතො ච උපට්ඨති = (මෙසේ භඞ්ගය අනුවැ බලන ඒ යෝගීහට සංස්කාරයෝ ම බිඳෙති. සංස්කාරයන් ගේ භේදය ම මරණ යැ අන්‍ය වූ කිසි ආත්මයෙක් නැත්තේ ය යි) ශූන්‍ය හෙයින් ම වැටහීම වේ.

 

එයින් කීහ පැරණියේ:-

 

“ඛන්‍ධා නිරුජ්ඣත්ති න චත්‍ථි අඤ්ඤො

ඛන්‍ධානභෙදො මරණන්ති වුච්චති,

තෙසං ඛයං පස්සති අප්පමත්තො

මණිංව විජ්ඣං වජිරෙන යොනිසො”

 

‘ස්කන්‍ධයෝ නිරුද්ධ වෙත්. ස්කන්‍ධයන් හැර අනෙකෙක් නැති. ස්කන්‍ධ භෙදය මරණය යි කියනු ලැබේ. ඒ ස්කන්‍ධයන් ගේ (වැටහෙන) භඞ්ගය අප්‍ර‍මත්තවූයේ වජ්‍රයෙන් මැණිකක් විදිනා කල එහි සිදුර දක්නා සේ නුවණින් බල යි.

 

අධිපඤ්ඤා විපස්සනා = (‘රූපාලම්බනයෙහි සිත ඉපිද නිරුද්‍ධ වීම ආරම්මණ පටිසඞ්ඛායැ’යි මෙසේ කී) ආලම්බන ප්‍ර‍තිසඞ්ඛ්‍යා ප්‍ර‍ඥාව, (ඒ චිත්තයා ගේ භඞ්ගය බලායැ යි කී) භඞ්ගානුපස්සනාව, (සංස්කාර ම බිඳේ. සංස්කාරයන් ගේ භේදය ම මරණය, අන් කිසිවෙක් නැතැ යි’ කී තන්හි) ශූන්‍ය වශයෙන් වැටහීමදැ යි මේ තුන් ආකාරයෙන් කියන ලද අධිපඤ්ඤා විපස්සනාවෙන්

 

කුසලො තිසු අනුපස්සනාසු = අනිත්‍යාදි ත්‍රිවිධ අනුපස්සනාහි දක්‍ෂ වූ යෝගී තෙමේ

 

චතසෙසා ච විපස්සති = නිබ්බිදා - විරාග - නිරෝධ - පටිනිස්සග්ග යන සතර අනුපස්සනාහි ද,

 

තීසු‘පට්ඨානෙසු තුසලතා = ක්‍ෂය - ව්‍යය - ශූන්‍ය වශයෙන් ද, මේ ත්‍රිවිධ වූ උපස්ථානයෙහි ද දක්‍ෂ වේ.

 

විශේෂ:- ක්‍ෂය-ව්‍යය වශයෙන් උපස්ථානය අනිත්‍ය හෙයින් ද, භය වශයෙන් උපස්ථානය දුඃඛ හෙයින් ද, ශූන්‍යතා වශයෙන් උපස්ථානය අනාත්ම හෙයින් ද වේ. (ටීකා)

 

නානාදිට්ඨිසු න කම්පති = ශාස්වත දෘෂ්ටි ආදි නානාප්‍ර‍කාර දෘෂ්ටීන්හි කම්පා නො වේ.

 

මෙසේ අකම්ප්‍ය වූ යෝගී තෙමේ ‘නිරුද්ධ නුවූයේ ම නිරුද්ධ වේ. නො බිඳුනේ ම බිඳේය‘යි පැවැති මනස්කාර ඇත්තේ බිඳෙන දුර්‍වල භාජනයක් මෙන් ද, විසිරෙන සියුම් රජසක් මෙන් ද, බදින තල මේන ද, සියලු සංස්කාරයන් ගේ උප්පාද - ඨිති - පවත්ති - නිමිත්ත හැර භේදය ම දකී.

 

නිදර්‍ශන:- ඇස් ඇති පුරුෂයෙකු පොකුණු තෙරෙකැ හෝ ගං තෙරෙකැ හෝ සිට මහත් පොද ඇති වැස්සක් වස්නා කල දිය පිට මහත් - මහත් බුබුළු නැගි-නැගී, වහා-වහා බිඳෙන්නවූන් දක්නා සේ ඒ යෝගී තෙමේ සියලු සංස්කාරයෝ බිඳෙත්-බිඳෙත් ය යි දකී. මේ බඳු යෝගියා සඳහා බුදුහු මෙසේ වදාළහ.

 

“යථා බුබ්බුලකං පස්සෙ - යථා පස්සෙ මරීචිකං

එවං ලොකං අවෙක්ඛන්තං - මච්චුරාජ න පස්සති”[772]

 

‘දිය බුබුලක් - මිරිඟු දියක් දක්නා සේ ලෝකය බලන යෝගී මරහු නො දකී’ (අර්‍හත්‍වයට පැමිණේ) මෙසේ සියලු සංස්කාරයෝ බිඳෙත් බිඳෙත්ය යි එක්වන් බලන ඒ යෝගීහු ගේ ශාස්වත දෘෂ්ටි ප්‍ර‍හාණය, ජීවිතනිකන්ති පරිත්‍යාග යැ, සත්ත භාවනාවෙහි යුක්ත ප්‍ර‍යුක්තතා යැ, පිරිසිදු ආජිවතා යැ, කෘත්‍යා‘කෘත්‍යයෙහි ව්‍යවෘත නො වීම යැ, කිසිවකට භය නැති බව ය, ක්‍ෂාන්ති සුරත භාව ලාභ යැ, අධිකුශල ධර්‍මයෙහි අරතිය හා කාමගුණ රතිය සහනතා යැ යන මේ අටඅනුසසක් දකී. මේ උතුම් අට අනුසස් දැක ඒ භඞ්ගය බලන සුලු යෝගී තෙමේ නිවණට පැමිණෙනු පිණිස ගිනි ගත් වස්ත්‍ර‍-ශීර්‍ෂ ඇතියකු සේ සංස්කාරයන් ගේ භඞ්ගය සන්මර්‍ශනය කෙරේ.

 

භඞ්ගානුපස්සනා ඤාණය නිමි.

 

(3) මෙසේ සියලු සංස්කාරයන් ගේ ක්‍ෂ්‍ය - ව්‍යය - භේද - සංඛ්‍යාත නිරෝධය අරමුණු කොට පැවැති භඞ්ගානුපස්සනාව ආසේවනය කරන - වඩන - නැවත නැවත වඩන ඒ යෝගීහට සියලු භව - යෝනි - ගති - විඤ්ඤාණට්ඨිති - සත්ත්‍වාසයෙහි බිඳෙන සංස්කාරයෝ සුවසේ ජීවත්වනු කැමති බියසුලු පුරුෂයෙක් හට සිහ - වග - දිවි - වලස් - තරස් - යක් - රකුස් - සැඩගොන් - සැඩබලු - බිඳුණු මද ඇති ඇත් - ගොරසප් - හෙණමඬුලු - සොහොන් - යුදබිම් - දිළිසෙන අගුරුවළ ආදිය මෙන් මහා භයවැ වැටහෙත්.

 

ඉකුත් සංස්කාරයෝ නිරුද්ධ වූහ. වර්‍තමාන සංස්කාරයෝ නිරුද්ධ වෙත්. අනාගතයෙහි උපදින සංස්කාරයෝ ද මෙසේ ම මතු නිරුද්ධ වන්නාහ යි බලන්නා වූ ඕ හට භයතුපට්ඨාන නම් නුවණ උපදී.

 

මේ එහි උපමාවෙකි:- එක් මාගමක ගේ පුත්තු තුන් දෙනෙක් රාජපරාධයක් කළහ. රජ ඔවුන් හිස් සිඳීමට නියෝග කෙළේය. ඕ තොමෝ පුතුන් හා වධස්ථානයට පැමිණියා ය. එකල ඇය ගේ දෙටු පුතා ගේ හිස සිඳ, මද්දුමයා ගේ හිස සිඳීමට සූදානම් වූහ. ඕ තොමෝ, ‘වැඩිමලා ගේ හිස සින්දේ යැ’ මද්දුමයා ගේ හිස ද සිඳී ය යි’ බාලයා කෙරෙහි ආලය හැරියා ය. මේ තෙමේ ද අනෙක් දෙදෙනා මෙනැ යි කියා යි.

 

ඒ උපමාහි:- ඒ ස්ත්‍රිය දෙටු පුතා ගේ සිඳි හිස දැකීම මෙන් යෝගීහු ගේ ඉකුත් සංස්කාරයන් ගේ නිරෝධය දැකී ම ද, මද්දුමයා ගේ හිස සිඳිනු දැකීම මෙන් වත්මන් සංස්කාර නිරෝධය දැකීම ද, මේ ද මොවුන් වැනි යයි බාලයා ගේ ආශාව හැරීම මෙන් අනාගතයෙහි ද උපදනා සංස්කාරයෝ බිඳෙත්යැ යි අනාගත ධර්‍මයන් ගේ නිරෝධය දැකීම ද දතයුතු. මෙසේ බලන්නා වූ ඒ යෝගීහට මෙ තැන භයතුපඨාන ඤාණය උපදී.

 

තවද උපමාවෙකි:- මියන දරුවන් ඇති එක් මාගමක් දරුවන් දස දෙනකු වැදුවාය. ඔවුනතුරින් නව දෙනෙක් මළහ. එකෙක් දැන් අතෙහි මැරේ. අනෙකෙක් කුසෙහි ද සිටී. ඕ දරුවන් නව දෙනෙකුන් මළ කලැ දස වැන්නා මියයන්නාහු දැක කුසහොත් දරුවා මළවුන් හා සමය, යි ඔහු කෙරෙහි ආලය හැරියා ය.

 

ඒ උපමාහි ද, ඒ ස්ත්‍රියගේ දරුවන් නව දෙනෙකුන් ගේ මරණය සිහිකිරීම මෙන් ඒ යෝගීහු ගේ අතීත සංස්කාර පිළිබඳ නිරෝධය සිහිකිරිම ද, අත දරුවා මියනු දැකීම මෙන් වර්‍තමාන සංස්කාර නිරෝධය දැකීම ද, කුසහොත් දරුවා ගේ ආලය හැරීම මෙන් අනාගත සංස්කාර නිරෝධය දැකීම ද දත යුතු යි. මෙසේ බලන්නා වූ ඒ යෝගීහට එකණෙහි භයතුපඨාන ඤාණය උපදී.

 

ප්‍ර‍ශ්නයෙකි:- භයතුපට්ඨාන ඤාණය බාද නො බාද

 

පිළිතුර:- නො බායි බිය වන ආකාරයෙන් නුවණ නූපදනා හෙයිනි.

 

විශේෂ:- ඒ ඤාණය වනාහී ඉකුත් සංස්කාරයෝ නිරුද්ධයහ. වර්‍තමාන සංස්කාරයෝ නිරුද්ධ වෙත්. අනාගත සංස්කාරයෝ නිරුද්ධ වන්නාහ’යි මෙසේ තීරණ මාත්‍රයෙක් මැයි.

 

ඒ මෙසේයි:- ඇස් ඇති පුරුෂයෙක් නුවර දොර අඟුරු වළවල් තුනක් දැක මේ තෙමේ නො බායි. හුදෙක් ‘මෙහි යම් යම් කෙනෙක් වැටෙත් නම් ඔහු හැම දෙනම බොහෝ දුක් අනුභව කෙරෙත්ය’ යි තීරණ මාත්‍රයෙක් ම ඕහට වේ. එසේ ම පිළිවෙලින් තුබූ කිහිරි හුලෙක, යහුලෙක, රත් හුලෙකැ යි හුල් තුනක් දක්නා ඇස් ඇත්තෙක් තෙමේ නොබායි. හුදෙක් යම් යම් කෙනෙක් මේ හුල්වල හෙත් නම් ඔහු හැම දෙනම බොහෝ දුක් අනුභව කෙරෙත්ය යි තීරණ මාත්‍රයෙක් ම වේ. මෙසේ භයතුපට්ඨාන ඤාණය නො බා යි හුදෙක් ඒ යෝගීහට අඟුරු වළවල් තුනක් වැනි වූ ද, හුල් තුනක් වැනි වූ ද ත්‍රිවිධ භවයෙහි “අතීත සංස්කාරයො නිරුද්ධයහ. වර්‍තමාන සංස්කාරයෝ නිරුද්ධ වන්නාහ.’ යි තීරණ මාත්‍ර‍ය ම වේ. හුදෙක් ඒ යෝගීහට සියලු භව - යෝනි - ගති - ඨිති - නිවාසගති සංස්කාරයෝ ව්‍යසන ප්‍රාප්තයන්වැ - ප්‍ර‍තිභවය සහිතයන්වැ භය වශයෙන් වැටහෙති. එහෙයින් භයතුපඨානය යි කියනු ලැබේ.

 

මේ ඒ පිළිබඳ පාළිය යි:- “අනිච්චතො මනසිකරොතො කිං භයතො උපට්ඨාතීති. අනිච්චතො මනසිකරොතො නිමිත්තං භයතො උපට්ඨාති. දුක්ඛතො මනසිකරොතො පවත්තං භයතො උපට්ඨාති. අනත්තතො මනසිකරොතො පවත්තං භයතො උපට්ඨාති අනත්තතො මනසිකරොතො නිමිත්තඤ්ච පවත්තඤ්ච භයතො උපට්ඨාති”[773] යනු යි. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන යෝගීහට කුමක් භය වශයෙන් වැටහේ ද, අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට නිමිත්ත භය වශයෙන් වැටහේ. දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍ර‍වෘත්තිය භය වශයෙන් නිමිත්ත ද, භව ප්‍ර‍වෘත්තිය ද භය වශයෙන් වැටහේ.’

 

විස්තර:- එහි නිමිත්ත නම් සංස්කාර නිමිත්ත යැ. අතීත අනාගත - ප්‍ර‍ත්‍යුත්පන්න වූ සංස්කාරයනට ම මේ නමෙකි.

 

ඒ මෙසේයි:- අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන යෝගී තෙමේ සංස්කාරයන් ගේ මරණය (භඞ්ගය) ම බලයි. එහෙයින් ඒ යෝගීහට සංස්කාර නිමිත්ත භය වශයෙන් වැටහේ. ප්‍ර‍වෘත්තිය නම් රූප - අරූප භවයන් ගේ ප්‍ර‍වෘත්තිය යි. දුක් වශයෙන් මෙනෙහි කරන්නේ සුඛ සම්මත වූ ද ප්‍ර‍වෘත්තිය නිතර පෙළන බව ම දකී. එහෙයින් ඒ යෝගී භව ප්‍ර‍වෘත්තිය ම භය වශයෙන් දකී. අනාත්ම වශයෙන් මෙනෙහි කරන යෝගී තෙමේ ප්‍ර‍වෘත්ති - නිමිතිි යන මේ දෙක ම ශූන්‍ය වූ ගමක් මෙන් ද, මිරිඟු දියක් මෙන් ද, ගන්‍ධර්‍ව නගරයක් මේන ද රිත්ක යැ. තුච්ඡ යැ, ශුන්‍ය යැ‍, අස්වාමික යැ, අපරිනායකයැ යි දකී. එහෙයින් ඒ යෝගීහට නිමිත්ත - පවත්ත යන දෙකම භය වශයෙන් වැටහේ.

 

භයතුපට්ඨාන ඤාණය නිමියේ යි.

 

(4) ඒ භයතුපට්ඨාන ඤාණය සෙවුනා - වඩන - බහුලවැ වඩන ඒ යෝගීහට සියලු භව - යෝනි - ගති ස්ථිති - සත්ත්‍වාවාසයන්හි සංස්කාරයන්ගෙන් වන අනර්‍ථයෙන් ආරක්ෂාවෙක් නැති. ඒ අනර්‍ථය දුරු කිරීමට ලැගෙන තැනෙක නැති, යා යුතු තැනෙක් නැති, රක්‍ෂාකරන තැනෙක් නැතැ’ යි පැනේ. සියලු භව - යේනි - ගති ස්ථිති - නිවාස ගත වූ සංස්කාරයන් අතුරින් එක සංස්කාරයෙක්හිදු ප්‍රාර්‍ථනාවෙක් හෝ දෘෂ්ටි වශයෙන් දැඩිවැ ගැනීමෙක් හෝ නො වේ. තුන් භවය සාලඟුරින් පිරි අඟුරු වළවල් මෙන් ද, සතර මහාභූත (කඬමුඛ - පූතිමුඛ - අගගිමුඛ - සත්‍ථමුඛ) ආශිවිෂයන් සතර දෙනකුන් මෙන් ද, පඤ්චස්කන්‍ධ නගා ගත් කඩු ඇති වධකයන් පස්දෙනෙකුන් මෙන් ද, චක්‍ෂුරාදී ආධ්‍යාත්මික ආයතන සය ආත්ම - අත්මීය භාවයෙන් ශුන්‍ය හෙයින් ශුන්‍ය ග්‍රාමයක් මෙන් ද, බාහිරායතන සය ගම් පහරන සොරුන් මෙන් ද, සප්ත විඥාන සථිතිහු ද, නව සත්ත්‍වාසය ද, රාගාදී එකොළොස්  ගින්නේ ඇවිල ගත්තවුන් මෙන් ද, දිළියෙන්නවූන්මෙන් ද, රෝග මෙන්, හුල් මෙන් ද, අඝ මෙන් ද, ආබාධ මෙන් ද වූවාහු ආස්වාද රහිතවැ නීරසවැ මහත් ආදීනව රැසැක්වැ වැටහෙති.

 

ඒ මෙසේයි:- සුවසේ ජීවත්වනු කැමැති බියසුලු පුරුෂයකු හට රමණි සේ පිහිටි චණ්ඩ මෘගයන් ඇති වන ගහණයක් මෙන් ද, ව්‍යාඝ්‍ර‍යන් ඇති ගුහාවක් මෙන් ද, කිඹුලන් හා රකුසන් සහිත විලක් මෙන් ද, ඔසවා ගත් කඩු ඇති සතුරකු මෙන් ද, විෂ සහිත බොජුනක් මෙන් ද, සොරුන් ඇති මෘගයක් මෙන් ද, ගිනිගත් ගෙයක් මෙන් ද, යොදන ලද සේනා ඇති යුද බිමක් මෙන් ද වැටහේ. ඒ පුරුෂ තෙමේ ව්‍යාල සහිත වන ගහණාදීන්ට පැමිණ බිය පත්වැ සංවිග්නවැ හටගත් ලොමුදැහැ ගැනීම් ඇතිවැ හාත්පසින් ආදීනව දක්නා සේ මේ යෝගීතෙමේ භඞ්ගානුපස්සනා වශයෙන් සියලු සංස්කාරයන් භය වශයෙන් එළැඹ සිටි කල්හි හාත්පසින් නීරස වූ ආස්වාද රහිත ආදීනවය ම දකී. මෙසේ බලන්නා වූ ඒ යෝගීහට ආදීනව ඤාණ නම් ඤාණයක් උපන්නේ වේ.

 

එයින් වදාළහ.

 

“කථං භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං?

 

(1) උප්පාදො භයන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං පවත්තං භයන්ති- නිමිත්තං භයන්ති- ආයූහනා භයන්ති- පටිසන්‍ධි භයන්ති- ගති භයන්ති- නීබ්බන්ති භයන්ති- උප්පන්ති භයන්තී- ජාති භයන්තී- ජරා භයන්ති- ව්‍යාධි භයන්ති- මරණං භයන්ති- සොකො භයන්ති- පරිදෙවො භයන්ති- උපායාසො භයන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං.

 

(2) අනුප්පාදො ඛෙමන්ති සන්තිපදෙ ඤාණං. අප්පවත්තං -පෙ- අනුපායාසො ඛෙමන්ති සන්තිපදෙ ඤාණං.

 

(3) උප්පාදො භයං - අනුප්පාදො ඛෙමන්ති සන්තිපදෙ ඤාණං.

 

(4) උප්පාදො දුක්ඛංති භයතුපට්ඨනෛ පඤ්ඤා ආදීනවෙ ඤාණං. පවත්තං -පෙ- උපායාසො දුක්ඛන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදිනවෙ ඤාණං.

 

(5) අනුප්පාදො සුඛංති සන්තිපදෙ ඤාණං.

 

(6) උප්පාදො දුක්ඛං, අනුප්පාදො සුඛන්ති සන්තිපදෙ ඤාණං පවත්තං -පෙ- උපායාසො දුක්ඛං අනුප්යාසො සුඛන්ති සන්තිපදෙ ඤාණං.

 

(7) උප්පාදො සාමිසන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං.

 

(8) අනුප්පාදො නිරාමිසන්ති සන්තිපදෙ ඤාණං. අප්පවත්තං -පෙ- අනුපායාසො නිරාමිසන්ති සන්තිපදෙ ඤාණං.

 

(9) උප්පාදො සාමිසං, අනුප්පාදො නිරාමිසන්ති සන්තිපදෙ ඤාණං. පවත්තං -පෙ- උපායාසො සාමිසං අනුපායාසො නිරාමිසන්ති සන්තිපදෙ ඤාණං.

 

(10)    උප්පාසො සඞ්ඛාරාති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. පවත්තං -පෙ- උපායාසො සඞ්ඛරාති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං.

 

(11)    අනුප්පාදො නිබ්බානන්ති සන්තිපදෙ ඤාණං.

 

(12)    උප්පාදො සඞ්ඛාර, අනුප්පාදො නිබ්බානන්ති සන්තිපදෙ ඤාණං පවත්තං -පෙ- උපායාසො සඞ්ඛාර අනුපායාසො නිබ්බානන්තී සන්තිපදෙ ඤාණං.[774]

 

මේ දශ වස්තුක දොළොස් වාරයකින් සැරසුණු අන්‍වයව්‍යතිරෙක වූ මේ ආදීනව ඥාන පදභාජනිය කියන ලදි.

 

භයතුපට්ඨානයෙහි ප්‍ර‍ඥාව කෙසේ ආදීනවයෙහි ඥානය වේද

 

(1) ඉපදීම භයෙකැ යි භයතුපඨානයෙහි ප්‍ර‍ඥාව ආදීනවයෙහි ඥානය වේ. සංස්කාර ප්‍ර‍වෘත්තිය භයෙකැ යි, සංස්කාර නිමිත්ත භයෙකැ යි, ආයූහන සඞ්ඛ්‍යාත ප්‍ර‍තිසන්‍ධියට හේතු වූ කර්‍මය භයෙකැ යි, ප්‍ර‍තිසන්‍ධිය භයෙකැ යි, නිරයාදී පස් ගතිය භයෙකැ යි, නිපැත්ම භයෙකැ යි, උපප්‍රාප්තිය භයෙකැ යි ජාතිය භයෙකැ යි, ජරාව භයෙකැ යි, ව්‍යාධිය භයෙකැ යි මරණය භයෙකැ යි, ශෝකය භයෙකැ යි පරිදේවය භයෙකැ යි, උපායාසය භයෙකැ යි, භයතුපට්ඨානයෙහි ප්‍ර‍ඥාව ආදීනවයෙහි ඥාන නම් වේ.

 

(2) අනුත්පාදය ක්‍ෂේමය යි ශාන්තිපද සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි ඥානය වේ. අප්‍ර‍වෘත්තිය - අනුපායාසය ක්‍ෂේමය යි ශාන්තිපදයෙහි ඥානය වේ.

 

(3) උත්පාදය භය යැ, අනුත්පාදය ක්‍ෂේමය යි ශාන්තිපදයෙහි ඥානය වේ.

 

(4) උත්පාදය දුඃඛය යි භයතුපට්ඨානයෙහි ප්‍ර‍ඥාව ආදීනවයෙහි ඥානය වේ. ප්‍ර‍වෘත්තිය -පෙ- උපායාසය දුක්ය යි භයතුපට්ඨානයෙහි ප්‍ර‍ඥාව ආදීනවයෙහි ඥානය වේ.

 

(5) අනුත්පාද සුඛය යි ශාන්තිපදයෙහි ඤාණය වේ. අප්‍ර‍වෘත්තිය - අනුපායාසය සුඛයය යි ශාන්තිපදයෙහි ඥානය වේ.

 

(6) උත්පාදය දුඃඛය, අනුත්පාදය සුඛයැ යි ශාන්තිපදයෙහි ඥානය වේ.

 

(7) උත්පාදය සාමිසයැ යි භතුපට්ඨානයෙහි ප්‍ර‍ඥාව ආදීනවයෙහි ඥානය වේ. සංස්කාර ප්‍ර‍වෘත්තිය - උපායාසය සාමිසය යි භතුපට්ඨානයෙහි ප්‍ර‍ඥාව ආදීනවයෙහි ඥානය වේ.

 

(8) අනුත්පාදය නිරාමිසය යි නිර්‍වාණයෙහි ඥානය යි. අප්‍ර‍වෘත්තිය - අනුපායාසය නිරාමිසය යි ශාන්තිපදයෙහි ඤාණය වේ.

 

(9) උත්පාදය සාමිසය, අනුත්පාදය නිරාමිසයැ යි ශාන්තිපදයෙහි ඥානය වේ.

 

(10) උත්පාදය සංස්කාරය යි භයතුපඨානයෙහි ප්‍ර‍ඥාව ආදීනවයෙහි ඥානය වේ. (සංස්කාරයන් ගේ) ප්‍ර‍වෘත්තිය, උපායාසය සංස්කාරය යි භයතුපඨානයෙහි ප්‍ර‍ඥාව ආදීනවයෙහි ඥානය වේ.

 

(11) අනුත්පාදය නිර්‍වාණය යි. ශාන්තිපදයෙහි ඤාණය වේ. අප්‍ර‍වෘත්තිය-අනුපායාසය නිර්‍වාණය යි ශාන්තිපදයෙහි ඥානය වේ.

 

(12) උත්පාදය සංස්කාරය, අනුත්පාදය නිර්‍වාණය යි ශාන්තිපදයෙහි ඥානය වේ. ප්‍ර‍වෘත්තිය -පෙ- උපායාසය සංස්කාරය අනුපායාසය නිර්‍වාණය යි ශාන්තිපදයෙහි ඥානය වේ.

 

සංග්‍ර‍හ ගාථා

 

“උප්පාදඤ්ච පවත්තඤ්ච - තිමිත්තං දුක්ඛන්ති පස්සති

ආයූහනං පටිසන්‍ධිං - ඤාණං ආදීනවෙ ඉදං.”

 

“අනුප්පාදං අප්පවත්තං - අනිමිත්තං සුඛන්ති ච

අනායූහනාප්පටිසන්‍ධි - ඤාණං සන්තිපදෙ ඉදං”

 

“ඉදං ආදීනවෙ ඤාණං - පඤ්චට්ඨානෙසු ජායතී

පඤ්චඨානෙ සන්තිපදෙ - දසඤාණෙ පජානාති

ද්වින්තං ඤාණානං කුසලතා - නානාදිට්ඨීසු න කම්පති”

 

ඉපදීමය, පැවැත්මය, නිමිත්තය, ආයූහනය, ප්‍ර‍තිසන්‍ධිය, දුක්ය යි දකී. මේ ආදීනවයෙහි ඤාණය යි. අනුත්පාදය, අප්‍ර‍වෘත්තිය, අනිමිත්තය, අනායූහනය, අප්‍ර‍තිසන්‍ධිය සැපය යි දකී. මේ නිර්‍වාණ (ශාන්තිපද)යෙහි ඤාණය යැ.

 

ආදීනවයෙහි ඤාණය - අප්පාද - පවත්ති - නිමිත්ත - ආයූහන - පටිසන්‍ධි යන පස්තැනෙක උපදී.

 

ශාන්ති පදයෙහි ඤාණය, අනුප්පාද - අප්පවත්ති- අනිමිත්ත- අනායූහන- අප්පටිසන්‍ධි යන පස් තැනෙක උපදී. මේ දස ඤාණයන් දන්නේ ආදීනව ඤාණ, ශාන්තිපද ඤාණ දෙකෙහි දක්‍ෂ භාවයෙන් නොයෙක් මිථ්‍යා දෘෂ්ටීන් ගෙන් කම්පිත නො වේ.

 

ඒ දැනීම දන්නා ලද අර්‍ථයෙන් ඥාන නමි. අනිත්‍යාදී ත්‍රිලක්‍ෂණ ප්‍ර‍කාරයෙන් දැනීම් අර්‍ථයෙන් ප්‍ර‍ඥා නමි. එහෙයින් ‘භයතුපඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං’ කියනු ලැබේ.

 

ගාථා විස්තරාර්‍ථ:-

 

ඒ ගාථාහි උප්පාදො යනු පූර්‍වභවයෙහි වූ කර්‍ම ප්‍ර‍ත්‍යයෙන් මේ භවයෙහි උත්පත්තිය යැ.

 

පවත්ත නම් එසේ උපන්නහුගේ ප්‍ර‍වෘත්තිය යැ.

 

නිමිත්ත නම් සියලු සංස්කාර නිමිත්ත යැ.

 

ආයූහන නම් මතු භවයෙහි ප්‍ර‍තිසන්‍ධියට හේතු වූ කර්‍ම යැ.

 

පටිසන්‍ධි නම් මතු භවයෙහි පිළිසිඳීම යැ.

 

ගති නම් යම් ගතියකින් ඒ ප්‍ර‍තිසන්‍ධි වේ නම් ඒ ගති යැ.

 

නිබ්බත්ති නම් පඤ්චස්කන්‍ධයන් ගේ පහළ වීම යැ.

 

උප්පත්ති නම් සමාපන්නයා ගේ හෝ ප්‍ර‍තිසන්‍ධියට ගියහු ගේ හෝ විපාකයන් ගේ පැවැත්ම යැ.

 

ජාති නම් ජරාදියට ප්‍ර‍ත්‍යය වූ කර්‍මභව ප්‍ර‍ත්‍යයයෙන් හට ගැනීම යැ.

 

ජරා, ව්‍යාධි, මරණාදිය ප්‍ර‍කට යි.

 

විශේෂ:- මේ උත්පාදාදී පස පමණක් ආදීනව ඥානයට වස්තු වශයෙන් කියන ලදි. සෙසු ගති - නිබ්බත්ති ආදිය එයට පරියාස වශයෙනි.

 

ඒ මෙසේයි:- නිබ්බත්ති - ජාති යන දෙක උත්පාදයේ ද ප්‍ර‍තිසන්‍ධියේ ද පරියාය වචන යි.

 

ගති - උප්පත්ති යන මේ දෙක ප්‍ර‍වෘත්තිහු ගේ පරියාස වචන යි.

 

ජරාදිය නිමිත්ත ශබ්දයා ගේ පරියාය වචනයි.

 

උප්පාදඤ්ච පවත්තං ච - නිමත්තං -පෙ- පස්සති

 

ඉදං ආදීනවෙ ඤාණං - පඤ්චඨානානි ගච්ඡති” යි එයින් කියන ලදි.

 

අනුප්පාදො ඛෙමන්ති සන්ති පදෙ ඤාණං - යනාදිය ආදීනව ඤාණයට ප්‍ර‍තිපක්‍ෂ වූ ඤාණය දැක්වීම සඳහා කියන ලදි.

 

විස්තර:- යට කී සේ භයතුපට්ඨාණඤාණයෙන් ආදීනව දැක උද්වේගයට පත්වූවන්ට අභය ද, නිරාදීනවය ද ඇතැයි අස්වැසිලි දනවනු පිණිස කියන ලදි.

 

යම් හෙයකින් වනාහි ඒ යෝගී හට උත්පාදා දී ධර්‍මයෝ භය වශයෙන් මැනැවින් වැටහුණාහු ද ඒ යෝගීහු ගේ සිත ඒ භයාදියට ප්‍ර‍තිපක්‍ෂ නිර්‍වාණයට නැමේ.

 

(දාහයෙන් මැඩුණා වූ සීතලට නැමී ගන්නා සේ මැනැවින් ආදීනව දැක්මෙන් ඒකාන්තයෙන් මිදෙනු කැමැති වන බැවිනි, යනු ටීකායි.)

 

එහෙයින් භයතුපඨාන වශයෙන් සිද්ධ ආදීනව ඥානයා ගේ අනුසස් දැක්වීම සඳහා මේ කියන ලදැයි දතයුතු.

 

මෙහි උත්පාදාදි යම් භවයෙක් වේ නම් එය නියමයෙන් ම දුක් වේ. උත්පාදාදිය වට්ටමිස - ලෝකාමිස - කිලෝසාමිසයෙන් නො මිදුණු හෙයින් සාමිස මැ යි. යමක් ආමිස සහිත නම් එය සංස්කාර මාත්‍ර‍ මැ යි. එහෙයින් උප්පාදෙ දුක්ඛන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං යනාදිය කියන ලදි. මෙසේ දුක් සැහැවි ඇති කල්හිදු භයාකාරයෙන් ද, දුඃඛාකාරයෙන් ද සාමිසාකාරයෙන් දැ යි ආකාර නානාත්‍වයෙන් පැවැතීම් වශයෙන් මෙහි නානාත්‍වය දත යුතු. ‘දසඤාණෙ පජානාති, යනු ආදීනව ඥානය දන්නේ උත්පාදාදී වස්තුන් පසක ද, අනුත්පාදා දී වස්තුන් පසක් දැ යි දස ඤාණයක් ප්‍ර‍කාරයෙන් දනී. ප්‍ර‍තිවේධ කෙරේ, සාක්‍ෂාත් කෙරේ.

 

ද්වින්තං ඤාණානං කුසලතා = (ආදීනව ඤාණයා ගේ ද, සන්තිපද ඤාණයා ගේ ද යන මේ) ද්විඥානයා ගේ දක්‍ෂ බැවින්,

 

නානාදිට්ඨිසු න කම්පති = පරම දෘෂ්ට ධර්‍ම නිර්වාණාදි වශයෙන් පැවති දෘෂ්ටීන් හි නො සැලේ.

 

(සෙසු නය නොගැඹුරු අර්‍ථ ඇත්තේ යි.)

 

ආදීනවානුපස්සනාඤාණය නිමි.

 

 

(5) ඒ යෝගී තෙමේ මෙසේ ත්‍රෛභූමක සියලු සංස්කාරයන් ආදීනව වශයෙන් දක්නේ සියලු භව - යොනි - ගති - විඤ්ඤාණඨිති - සත්ත්‍වාවාසගත වූ බිඳෙන සුලු සියලු සංස්කාර ජාතයෙහි කළකිරෙයි. උකටලි වෙයි. නො ඇලේ. චිත්‍ර‍කුට පර්‍වත පාදයෙහි ඇලුණු ස්වර්‍ණ රාජහංසයා අපවිත්‍ර‍ වූ සැඩොල් ගම්දොර ගවර වළෙහි නො ඇලෙන්නාක් මෙනි. සිංහ ප්‍ර‍පාතාදී සප්ත මහා විල්හිම ඇලේ. එපරිද්දෙන් ම මේ යෝගී රාජහංස තෙමේ මනාකොට දක්න ලද ආදීනව ඇති සභඞ්ගුර ත්‍රෛභූමක සංස්කාරගතයෙහි නො ඇලේ. භාවනාවෙහි ඇලුණු හෙයින් භාවනාභිරතියෙන් යුක්ත වූ යේ සප්තානුදර්‍ශනයෙහි ඇලේ.

 

රන් මැදිරියෙහි බහාලු මෘගරාජ සිංහයා එහි නො ඇලී තුන් දහසක් යොදුන් විශාල වූ හිමවත ම ඇලෙන්නාක් මෙනි. මේ යෝගී සිංහ තෙමේ ද කාමසුගති ආදි ත්‍රිවිධ සම්පත්ති භවයෙහි නො ඇලී ත්‍රිවිධ අනුපස්සනාහිම ඇලේ. සර්‍වාඞ්ග ධවල සප්තස්ථානයක් භූමියෙහි ස්පර්‍ශ වන්නා වූ සෘද්ධිමත් ආකාශචාරී ෂඩ්දන්ත හස්තිරාජයා නුවර මැද නො ඇලී හිමාලයෙහි සදත් විල්හි ම ඇලෙන්නා සේ මේ යෝගීවරවාරණයා ද සියලු ත්‍රෛභූමක සංස්කාරයෙහි නො ඇලී යට “අනුප්පාදො ඛෙමං” යනාදී නයින් අධිමුක්ති පූර්‍වක [775]*අන්‍වය දර්‍ශනයෙන් දක්නා ලද ශාන්ති පදයෙහි ම ඇලෙයි. ඒ ශාන්ති පදයෙහි නිම්න ප්‍ර‍වණ ප්‍රාග්භාර සිත් ඇති වේ.

 

නිබ්බිදානුපස්සනාඤාණය නිමි.

 

(6) මේ නිබ්බිදාඤාණය පෙර කී භයතුපට්ඨාන - ආදීනව ඤාණ දෙක හා අර්‍ථ වශයෙන් එකකි. එහෙයින් කීහ පැරැණියො:-

 

‘එකම භයතුපට්ඨාන ඤාණය නාම තුන ම ලබ යි. සියලු සංස්කාරයන් භය වශයෙන් දිටීනු යි, භයතුපට්ඨාන නම් වී. එම සංස්කාරයන්හි ම ආදීනව උපදවානු යි ආදීනවානුපස්සනා නම් වී. එම සංස්කාරයන්හි ම නිර්‍වෙද කරමින් උපනැයි නිබ්බිදානුපස්සනා නම් වී යැ යි’ කියායි.

 

පෙළෙහි ද වදාළහ.

 

“යා ච භයතුපඨානෙ පඤ්ඤා, යා ච ආදීනවෙ ඤාණං යාච නිබ්බිදා, ඉමෙ ධම්මා එකට්ඨා ව්‍යඤ්ජනමෙවනානා”[776] ‘භයතුපට්ඨානයෙහි යම් ප්‍ර‍ඥාවෙක් වේ ද, ආදීනවයෙහි යම් නුවණෙක් වේ ද, යම් නිර්‍වෙදයෙක් වේ ද, මේ ධර්‍ම ඒකර්‍ථය ව්‍යඤ්ජ නම වෙනසි’ යි.

 

මේ නිර්‍වෙද ඥානයෙක් කළකිරුණු, උකටලී වූ නො ඇලුණු මේ කුලපුත්‍ර‍යා ගේ සිත සියලු භව- යෝනි- ගති- විඥානස්ථිති- සත්ත්‍වාවාස ගත වූ සභෙද සංස්කාරයන් අතුරින් එකද සංස්කාරයෙකැ නො ඇලේ. නො ලැගේ, නො බැඳේ, සියලු සංස්කාර ජාතයෙන් මිදෙනු කැමැත්තේ, නික්මෙනු කැමැත්තේ වේ.

 

ඒ මෙසේයි:- දැල ඇතුළත වන් මසකු සේ ද, සර්‍පමුඛගත මැඩියකු සේ ද, මැදිරියක ලූ වලිකුකුළකු සේ ද, දැඩි මළපුඩුවකට අසු වූ මුවකු සේ ද, අහිකුණ්ඨිකයෙකු ගේ අතට පත් නයකු සේ ද, මහමඩෙහි ගැලුණු ඇතකු සේ ද, ගරුඬ මුවගත නාගයකු සේ ද, රාහුමුඛගත චන්‍ද්‍ර‍යා සේ ද, සතුරන් පිරිවරන ලද පුරුෂයකු සේ දැයි (මේ ආදීන් ඒ ඒ තැනින් මිදෙනු කැමැත්තන් නික්මෙනු කැමැත්තන් වන්නා සේ) ඒ යෝගිහුගේ සිත ද සියලු සංස්කාර ජාතයෙන් මිදෙනු කැමැත්තේ, නික්මෙනු කැමැත්තේ වේ. මෙසේ සියලු සංස්කාරයෙහි ආලය පහවූ සියලු සංස්කාර ජාතයෙන් මිදෙනු කැමති ඒ යෝගීහට මුඤ්චිතුකම්‍යතා ඤාණය උපදී.

 

මුඤ්චිතුකම්‍යතා ඤාණය නිමි.

 

(7) මෙසේ ඒ යෝගී සියලු භව- යෝනි- ගති- ස්ථිති- නිවාස- ගත සභෙදක සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැත්තේ සියලු සංස්කාර ජාතයෙන් මිදෙනු පිණිස නැවැත ඒ සංස්කාරයන් ම පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් තිලකුණට නගා පරිග්‍ර‍හ කෙරේ.

 

ඒ මෙසේ යි:- ඒ යෝගී සියලු සංස්කාර අනිත්‍ය ත්‍රික හෙයින් ද, තාවකාලික හෙයින් ද, උදය - ව්‍යය දෙකින් පරිච්ඡින්න හෙයින් ද, විනාශ වන හෙයින් ද බිඳෙන හෙයින් ද, අස්ථිර හෙයින් ද, විපරිනාම ධර්‍ම හෙයින් ද, අසාරක හෙයින් ද, විභව හෙයින් ද, සංඛත හෙයින් ද, මරණ ධර්‍ම හෙයින් දැ යි මේ ආදී කාරණයෙන් අනිත්‍යය යි දකී.

 

නිතර පෙළෙන හෙයින් ද, දුකින් ඉවසන හෙයින් ද, දුඃඛ වස්තු හෙයින් ද, රෝග හෙයින් ද, ගණ්ඩ හෙයින් ද, දුක් හෙයින් ද, ආබාධ හෙයින් ද, (ඊති) හිරිහැර හෙයින් ද, උපද්‍ර‍ව හෙයින් ද, භය හෙයින් ද, උපසර්‍ග හෙයින් ද, රක්‍ෂාස්ථාන නැති හෙයින් ද නිලීනස්ථාන නැති හෙයින් ද, අසරණ හෙයින් ද, ආදීනව හෙයින් ද, දුකට මුල් හෙයින් ද, වධක හෙයින් ද, ආශ්‍ර‍ව සහිත හෙයින් ද, මාරාමිෂ හෙයින් ද, ජාතිස්වභාව හෙයින් ද ජරාස්වභාව ඇති හෙයින් ද, ව්‍යාධි ස්වභාව ඇති හෙයින් ද, ශෝක ස්වභාව ඇති හෙයින් ද, පරිදෙව ස්වභාව ඇති හෙයින් ද, උපායාස ස්වභාව ඇති හෙයින් ද, සංකේලශ ස්වභාව හෙයින්දැ යි මේ ආදී කාරණයෙන් දුඃඛයයි දකී.

 

අමනෝඥ හෙයින් ද, දුර්‍ගන්‍ධ හෙයින් ද, පිළිකුල් කටයුතු හෙයින් ද, අමණ්ඩනාර්‍හ හෙයින් ද (අමණ්ඩනයෙන් අශුභ භාවය ප්‍ර‍කට වන හෙයිනි.) විරූප හෙයින් ද බීභත්ස හෙයින් දැ යි මේ ආදී කාරණයෙන් දුඃඛ ලක්‍ෂණයට පරිවාර වූ අශුභ හෙයින් දකී.

 

පර වශ හෙයින් ද, පරිත්ත හෙයින් ද, තුච්ඡ හෙයින් ද, ශුන්‍ය හෙයින් ද, අස්වාමික හෙයින් ද, අනීශ්චර හෙයින් ද, තමා වශයෙහි නො පවත්නා හෙයින් දැයි මේ ආදී කාරණයෙන් අනාත්ම හෙයින් දකී.

 

මෙසේ දක්නා වූ යෝගියා විසින් තිලකුණට නඟා සංස්කාර පරිග්‍ර‍හ කරන ලද්දේ වෙයි.

 

විශේෂ:- මේ සංස්කාර මෙසේ පරිග්‍ර‍හ කරනුයේ ඒ සංස්කාරයන් ගෙන් මිදීම සඳහා උපාය සම්පාදනය කරනු පිණිස යැ.

 

මේ එයට උපමාවෙකි:- එක් පුරුෂයෙක් මසුන් ඇල්ලීමට මස් කරප්පයක් ගෙන ජලයෙහි ඇට වී හේ කරක් මුවින් අත තබා දිය තුළ වූ සර්‍පයකු ගෙන මසෙක් ගන්නා දැ යි’ සතුටු වී මා විසින් මහා මසෙක් ලදැ යි’ ඔසවා බලනුයේ සොවැති තුන දැක සර්‍පයා හැඳින බිය පත්වැ ආදීනව දැක ගැනීමෙන් කළකිරී ඉන් මිදෙනු කැමැතිවැ එයට උපාය යොදනුයේ නගුට අග සිට අත වෙළුම් හැර බාහුව ඔසවා හිස වටා දෙතුන් වරක් කරකවා ඌ දුබල කොට ‘යා දුෂ්ට සර්‍පයැ යි’ දුරට දමා ගසා වහා මැ මියරට නැගී පින්වත! ‘මහා සර්‍ප මුඛයෙන් මිදුනෙමි යි’ ආ මඟ බලමින් සිටියේ යි.

 

(උපමාන උපමෙය සංසන්‍දනය) එහි ඒ පුරුෂයා මසෙකැ යි සර්‍පයා ගෙන සතුටු වූ කාලය මෙන් මේ යෝගියාගේ ද ආදියෙහි ම ආත්මය ලැබ සතුටු වූ කාලය ද, ඔහු කරක් මුවින් සර්‍ප හිස පිටතට ගෙන සෝවැති තුන දැකීම මෙන් මොහු ඝන විනිර්භෝග කොට සංස්කාරයන් ගේ තිලකුණු දැකීම ද, ඔහු බිය වූ කාලය මෙන් මොහු ගේ භයතුපට්ඨාන ඤාණයද, අනතුරුවැ ආදීනව දැකීම මෙන් ආදීනවානුපස්සනා ඤාණයද, සර්‍පයා ගෙන් මිදෙනු කැමැත්ත මෙන් මුඤ්චිතුකම්‍යතා ඤාණය ද, මිදීමට උපාය සෙවීම මෙන් පටිසංඛානුපස්සනා ඤාණයෙන් සංස්කාරයන් තිලකුණට නැගීම ද දතයුතු. ඒ පුරුෂයා සර්‍පයා හිස වටා සිසාරා දුබල කොට පෙරළා දෂ්ට කිරීමට අසමර්‍ථ කොට මොනවට මිදුනා සේ මේ යෝගීතෙමේ තිලකුණට නගා සංස්කාරයන් බමවා දුබල කොට නැවැතැ නිත්‍ය - සුඛ - ආත්ම ආකාරයෙන් එළඹ සිටීමට අසමර්‍ථ බවට පමුණුවා මනා මිදුමෙන් මිදේ. එයින් මිදීමට උපාය සෙවීම සඳහා මෙසේ පරිග්‍ර‍හ කෙරේ ය යි කියන ලදි.

 

මෙතෙකින් ඒ යෝගීහට පටිසඞ්ඛා ඤාණය උපන්නේ වේ.

 

එයින් වදාළහ. “අනිච්චතො මනසිකරොතො කිං පටිසඞ්ඛාඤාණං උප්පජ්ජති. දුක්ඛතො -පෙ- අනත්තතො මනසිකරොතො කිං පටිසඞ්ඛාඤාණං උප්පජ්ජති. අනිච්චතො මනසිකරොතො නිමිත්තං පටිසඞ්ඛාඤාණං උප්පජ්ජති. අනත්තතො මනසිකරොතො නිමිත්තඤ්ච පවත්තඤ්ච පටිසඞ්ඛාඤාණං උප්පජ්ජති”[777] යි.

 

‘අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට කිනම් පටිසඞ්ඛාඤාණයෙක් (කුමක් දැන නුවණ) උපදී දැ දුඃඛ හෙයින් -පෙ- අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට කිනම් පටිසඞ්ඛා ඤාණයෙක් (කුමක් දැන නුවණ) උපදී ද, අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට සංස්කාර නිමිත්ත ඇති පටිසඞ්ඛා ඤාණය උපදී. දුක් හෙයින් මෙනෙහි කරන්නාහට සංස්කාර ප්‍ර‍වෘත්ති ඇති පටිසඞ්ඛා ඤාණය උපදී. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නා හට නිමිත්ත ද, ප්‍ර‍වෘත්තිය ද ඇති පටිසඞ්ඛා ඤාණය උපදී, යැ කියා යි. (මේ පිළිබඳ විස්තර භයතුපඨන කථාහි කියන ලදි.)

 

විශේෂ:- මෙහි නිමිත්තං පටිසඞ්ඛා - යනු සංස්කාර නිමිත්ත අද්ධුවය, තාවකාලිකය යි අනිත්‍ය ලක්‍ෂණය වශයෙන් දැන (පළමු කොට ඒකාන්තයෙන් දැන) පසුව ඤාණය උපදී ද එක ක්‍ෂණිකව මුත් පෙර පසුවැ නූපදී.

 

එහෙත් ව්‍යවහාර හෙයින් මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං”[778] සිත නිසා ද, ධර්‍මාලම්බනය නිසා ද මනෝවිඤ්ඤාණය උපදී, ය යි කීවා සේ මේ කියනු ලැබේ. නොහොත් පළමු උපන් ඤාණයෙන් අතුරෙහි පූර්‍ව ඥාන වශයෙන් ප්‍ර‍තිසංඛ්‍යාත ක්‍රියාව ද, තදන්‍ය ඥාන වශයෙන් උත්පාද ක්‍රියාව ද යෙදිය යුතු යි ඒ ඥාන ද ඒකසන්තානා පතිත බැවින් එකත්‍වනය වශයෙන් ගෘහීත යි. හේද වශයෙන් ද අපේක්‍ෂණය නො වෙත් යනු ටීකා යි.

 

මේ නයින් ම පවත්ත - පටිසඞඞ්ඛා යන පද ද්වයෙහි අර්‍ථ ද දත යුතු යි.

පටිසඞ්ඛානුපස්සනා ඤාණය නිමි.

      (8) ඒ යෝගී තෙමේ මෙසේ පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් ‘සියලු සංස්කාර ශූන්‍යයයි’ පිරිගා කොට (පිළිගෙන) නැවැතැ මේ මේ සංස්කාර ධර්‍ම සමූහය ආත්මයෙන් හා ආත්මය පිළිබඳ ධර්‍මයකින් ද ශුන්‍යය යි මෙසේ දෙකෙළෙවරක් ඇති (ද්‍විකොටික) ශූණ්‍යත්‍වය පරිග්‍ර‍හ කෙරේ.

 

ඒ යෝගී තෙමේ මෙසේ ආත්මයක් නො ලැබෙන හෙයින් ම ප්‍ර‍ත්‍යක්‍ෂ හෙයින් ද, අනුමාන වශයෙන් ද, ආත්මයක් නො දැක, තම-තමා ගේ උපකරණ වශයෙන් සුව-දුක් සාධන භවයෙන් සිටි අන් කිසි සතකු හෝ වස්තුවක් නො දැක නැවැතැ “නාහං කච්චනි කස්සචි කිඤ්චනතස්මිං, නච මම කච්චනි කිස්මිචි කිඤ්චනතත්‍ථි”[779] මම කිසි තැනෙක්හි කිසිවකු ගේ කිඤ්චන භාවයක් (අයිතියක්) නො වෙමි. මාගේ කිසි තැනෙකැ කිසිවකුට කිඤ්චන බවෙක් - අයිතියෙක් නැත්තේය යි’ මෙසේ මේ ශූන්‍යතානු දර්‍ශනයෙහි යම් චතුකෝටික ශූන්‍යතාවක් කියන ලද නම් එය පරිග්‍ර‍හ කෙරේ.

 

ඒ මෙසේ යි. (1) මේ ‘නාහං කච්චනි’ යන්නෙන් කිසි තැනෙක්හි මම යයි ගත යුතු. ආත්මය නො දකී.

 

(2) ‘නකස්සචි කිඤ්චනතස්මිං’ යන්නෙන් තමා ගේ ආත්මය අන් කිසිවකුට කිඤ්චන (අයත්) බැව් එළවිය යුත්තක් නො දකීය යි භ්‍රාතෘ ස්ථානයෙහි භ්‍රාතෘහු හෝ සහාය ස්ථානයෙහි සහායයා හෝ පරිෂ්කාර ස්ථානයෙහි පරිෂ්කාර හෝ සලකා එළවිය යුත්තක් නො දකී යන අර්‍ථ යි.

 

(3) “න ච (මම) කච්චනි” යන්නෙහි (‘මම’ ශබ්දය හැර) අන්‍යයා ගේ ආත්මය ද කිසි තැනෙක නො දක්නේ ය. (දැන් මම ශබ්දය ගෙන)

 

(4) ‘න ච මම කිස්මිචි කිඤ්චනතත්‍ථි’ යන්නෙහි ඒ යෝගී තෙමේ අන්‍යයා ගේ ආත්මය ‘මා ගේ කිසි තැනෙක කිඤ්චක භාවයෙහි ඇතැයි නො දකීය යි, තමා ගේ භ්‍රාතෘ ස්ථානයෙහි භ්‍රාතෘහු හෝ සහාය ස්ථානයෙහි සහායයා හෝ පරිෂ්කාර ස්ථානයෙහි පරිෂ්කාරය හෝ සලකා කිසි තැනෙක්හි මෙරමාගේ ආත්මය මේ පරිෂ්කාරාදී කිඤ්චන භාවයෙන් එළවිය යුත්තක් කොට නො දකී, යන අර්‍ථ යි. මෙසේ මේ යෝගී තෙමේ කිසි තැනෙක ආත්මය නො දකින හෙයින් ඒ ආත්මය මෙරමාහට කිඤ්චක භාවයෙහි එළවිය යුත්තකු කොට නො දකී. (ආත්මය) තමාගේ කිඤ්චන භාවයෙහි එළවිය යුත්තකු කොට නො දකී. මෙරමා ගේ ආත්මය තමහට කිඤ්චන භාවයෙහි එළවිය යුත්තකු කොට නො දකී.

 

මෙසේ මොහු විසින් චතුකෝටික සුඤ්ඤතාව පරිග්‍ර‍හ කොට නැවැතැ සයාකාරයෙකින් ශූන්‍යතාව පරිග්‍ර‍හ කෙරේ.

 

ඒ මෙසේ ය:- චක්‍ෂුස (1) ආත්මයෙන් ද (2) ආත්මය පිළිබැඳි දැයින් ද (3) නිත්‍යයෙන් ද (4) ස්ථිරත්‍වයෙන් ද (5) ශාස්වතයෙන් ද (6) අවිපරිණාම ධර්‍මයෙන් ද ශූන්‍ය වේ. -පෙ- මනස ශුන්‍ය යැ. රූප ශුන්‍යය. -පෙ- ධර්‍ම ශූන්‍යය. චක්ඛු විඤ්ඤාණය ශූන්‍ය යැ. -පෙ- මනෝවිඤ්ඤාණය, චක්ඛුසම්ඵස්සයැ යි මෙසේ ජරා - මරණය තෙක් ක්‍ර‍මය පැමිණ විය යුතු ය.

 

මෙසේ සය ආකාරයකින් ශුන්‍යත්‍වය පරිග්‍ර‍හ කොට නැවැතැ අට ආකාරයකින් පරිග්‍ර‍හ කළයුතු යි.

 

ඒ මෙසේ යි:- රූපය (1) නිත්‍යසාරයෙන් ද (2) ධුවසාරයෙන් ද, (3) සුඛසාරයෙන් ද (4) ආත්මසාරයෙන් ද (5) නිත්‍යයෙන් ද (6) ධුවයෙන් ද (7) ශාස්වතයෙන් ද (8) අවිපරිණාම ධර්‍මයෙන් ද අසාර යැ, නිස්සාර යැ. සාරාපගත යි.

 

වේදනාදිය ද මෙසේ මැ යි.

 

බට යැ, එරදඬු යැ, දිඹුල් යැ, හෙළවරා යැ, එරබදු යැ, පෙණපිඩ යැ, දිය බුබුළ යැ, මිරිඟු දිය යැ, කෙසෙල් කඳ යැ, මායා යැ යන මේවා යම් සේ අසාර වෙද් ද නිස්සාර වෙද්ද, සාරාපගත වෙද්ද, එසේ රූපය -පෙ- ජරා - මරණය, නිත්‍ය සාරයෙන් ද -පෙ- අවිපරිණාම ධර්‍මයෙන් ද අසාර ද, නිස්සාර ද, සාරාපගත ද, වේ යයි මෙසේ පරිග්‍ර‍හණය කෙරේ.

 

ඒ යෝගී මෙසේ අට ආකාරයකින් ශූන්‍යතාව පරිග්‍ර‍හ කොට නැවැතැ දශ ආකාරයෙකින් පරිග්‍ර‍හ කෙරේ.

 

ඒ මෙසේයි:- (1) ඒ රූපය රික්ත වශයෙන් ද, (2) තුච්ඡ වශයෙන් ද (3) ශූන්‍ය වශයෙන් ද, (4) අනාත්ම වශයෙන් ද (5) අනීශ්චර වශයෙන් ද (6) අකාමකාරී හෙයින් ද (7) අලබ්හනීය හෙයින් ද, (8) අවශවත්තනක හෙයින් ද (9) පර හෙයින් ද (10) විවික්ත හෙයින් ද බලන්නේ යි. වේදනා -පෙ- විඤ්ඤාණය රික්ති හෙයින් -පෙ- විවික්ත හෙයින් බලන්නේ යි.

 

මෙසේ දශ ආකාරයෙන් ශූන්‍යත්‍වය පරිග්‍ර‍හ කොට නැවත දොළොස් ආකාරයකින් පරිග්‍ර‍හ කෙරේ.

 

ඒ මෙසේයි:- (1) රූපය සත්ත්‍වයෙක් (2) ජීවයෙක් (3) නරයෙක් (4) මානවකයෙක් (5) ස්ත්‍රියක් (6) පුරුෂයෙක් (7) ආත්මයක් (8) ආත්මය අයත් වස්තුවෙක් නො වේ. (9) මම නො වෙමි. (10) මාගේ නො වේ. (11) අනෙකකු ගේ නො වේ. (12) කිසිවකු ගේ නොවේ.

 

වේදනා -පෙ- විඤ්ඤාණය සත්ත්‍වයේක නො වේ. -පෙ- කිසිවකු ගේ නො වේය යි, මෙසේ දොළොස් (12) ආකාරයකින් ශූන්‍යත්‍වය පරිග්‍ර‍හ කොට නැවැතැ තීරණ පරිඥා වශයෙන් දෙසාළිස් (42) ආකාරයකින් ශූන්‍යත්‍වය පිරිග්‍ර‍හ කෙරේ. රූපය අනිත්‍ය හෙයින්- දුක් හෙයින් - රෝග හෙයින් ද, ගණ්ඩ- සල්ල - අඝ- ආබාධ- පර- පරොක- ඊති- උපද්දව - භය - උපස්සග්ග- චලපභඞ්ගු- අඬුව- අත්තාණ- අලෙන- අසරණ- අසරණිභූත- රිත්ත- සුඤ්ඤ - තුච්ඡ - අනිච්ච - අනස්සාද - ආදීනව - විපරිණාමධම්ම - අසාරක - අඝමූල - වධක - විභව - සාසව - සංඛත - මාරාමිස - ජාතිධම්ම - ජරාධම්ම - ව්‍යාධිධම්ම - මරණධම්ම - සොක - පරිදෙව - දුක්ඛ - දොමනස්ස - උපායාස ධම්ම විසින් ද, සමුදය- අස්තඞ්ගම- නිස්සරණ හෙයින් ද දකී. වේදනා -පෙ- විඤ්ඤාණය අනිත්‍ය හෙයින් -පෙ- නිස්සරණ හෙයින් දකී.

 

එයින් කීහ:- රූපය අනිත්‍ය හෙයින් -පෙ- නිස්සරණ හෙයින් බලන්නේ ශූන්‍ය හෙයින් ලෝකය බලයි. වේදනා -පෙ- විඤ්ඤාණය අනිත්‍ය හෙයින් -පෙ- නිස්සරණය හෙයින් බලන්නේ ශූන්‍ය හෙයින් ලෝකය බලයි.

 

“සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු - මොඝරාජ සදා සතො

අත්තානුදිට්ඨිං ඌභච්ච - එවං මච්චුතරො සියා

එවං ලොකං අවෙක්ඛන්තං - මච්චුරාජා න පස්සති”[780]

 

‘මෝඝරාජය! හැම කල්හි සිහි ඇති වැ සංස්කාර ලෝකය ශූන්‍ය වශයෙන් බලව, ආත්මානු (සත්කාය) දෘෂ්ටිය සමුච්ඡේද වශයෙන් නසා මෙසේ මරුන් එතර කරන්නේ වෙයි, මේ කී සේ ලෝකය බලන්නහු මාරයා නො දකී’

 

මෙසේ ශූන්‍යතා වශයෙන් දැක තිලකුණට නගා සංස්කාරයන් පරිග්‍ර‍හ වශයෙන් සන්මර්‍ශනය කරනුයේ සංස්කාරයන් පිළිබැඳි විනාශය නිසා භය ද, සංස්කාරයන් ගේ සම්පත්තිය නිසා ඇතිවන ප්‍රීතිය ද හැර සංස්කාරයන් කෙරෙහි උදාසීන වෙයි. මැදිහත් වෙයි. ‘මම වෙමි’ යි කියා හෝ මාගේ ය යි කියා හෝ, අත්හළ භාර්‍ය්‍යාවක ඇති පුරුෂයකු මෙන් මිථ්‍යාදෘෂ්ටි වශයෙන් නො ගනී.

 

ඒ මෙසේයි:-පුරුෂයක් හට ප්‍රිය මනාප භාර්‍ය්‍යාවක් වූ හෙතෙමේ ඇයගෙන් වෙන්වැ මොහොතකුදු නොම වසයි. ඇයට අතිශයින් මමායන කෙරෙයි. හෙතෙමේ අන්‍ය පුරුෂයකු හා සිටින්නා වූ ද, හොත්තා වූ ද, කථා කරන්නා වූ ද, සිනාසෙන්නා වූ ද, ඇය දැක නො සතුටු සිත් ඇත්තේ කිපියේ ඉතා දොමනසක් විඳී. හෙතෙමේ පසුවැ ඇයගේ දොස් දැක ඇයගෙන් මිදෙනු කැමැත්තේ ඇය දුරු කරන්නේ ය. ඇය ‘මගේ’ ය යි නො ගනී. එතැන් පටන් ඇය යම් කිසිවකු හා යම් කිසිවක් කරනු දැක ද නො කිපෙන්නේ ය. දොම්නසකට නො පැමිණෙන්නේ ය. හුදෙක් ඒකාන්තයෙන් උදාසීන මැ වන්නේ යි මැදිහත් මැ වන්නේ යි. එසේ ම මේ යෝගී තෙමේ සර්‍ව සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැති වැ පටිසංඛානුපස්සනා ඤාණයෙන් සංස්කාරයන් සම්මර්‍ශනය කරනුයේ මමයැ මාගේ යැ යි ගතයුත්තක් නො දැක භය ද, ප්‍රේමය ද හැර සියලු සංස්කාරයන්හි උදාසීන වැ මැදිහත් වෙයි. මෙසේ දන්නා මෙසේ දක්නා ඒ යෝගීහු ගේ සිත තුන් භවයෙහි ද, සිවු යෝනියෙහි ද, පස් ගතියෙහි ද, සප්ත විඥානස්ථිතියෙහි ද, නවසත්ත්‍වා - වාසයෙහි, හැකිලෙයි, පැකිලෙයි, වැතිරෙයි, නො පැතිරෙයි මැදහත් බව හා පිළිකුල් බව හෝ පිහිටයි.

 

යම් සේ මඳක් නැමුණු පියුම් පතෙක දිය බින්‍දු හැකිලේ ද, පැකිලේ ද, වැතිරේ ද, නො පැතිරේ ද, ගින්නෙහි බහාලු කුකුළු පතක් හෝ නහර වැලක් හෝ හැකිලේ ද, පැකිලේ ද, වැතිරේ ද, නො පැතිරේ ද, එසේ ඔහුගේ සිත ද, තුන් භවයෙහි -පෙ- උපේක්‍ෂාව හෝ පිළිකුල් බව පිහිට යි. මෙසේ ඒ යෝගී හට සංඛාරුපෙක්ඛාඤාණය උපන්නේ වෙයි.

 

මේ සංඛාරුපෙක්ඛාඤාණය ශාන්තිපදය වූ නිර්‍වාණය ශාන්ත වශයෙන් දකී. සියලු සංස්කාර ප්‍ර‍වෘත්තිය හැරපියා නිර්වාණයට වදී. නිර්‍වාණය ශාන්ත සේ නො දකී නම් නැවැතැ නැවැතැ සංස්කාරයන් ම අරමුණු කොට පවතී. සාමුද්‍රිකයන් ගේ දික් කවුඩා මෙනි.

 

ඒ මෙසේයි:- සමුද්‍ර‍තරණය කරන වෙළෙන්දෝ නැව් නගින්නෝ දිශා කාකයකු ගනිති. ඔවුහු වාත වේගයෙන් පහරන ලද නැව විදේශයකට පැමිණ තෙරක් නො පැනේ නම් එකල දිශා කාකයා (අත්) හරිත්. ඌ කුඹගසින් අහට නැගී සියලු සතර දිග ද, සතර අනුදිග ද, අනුවැ ගොස් තෙරක් පැනේ නම් එයට අභිමුඛවැම යෙයි. එසේ නො දකී නම් නැවැතැ නැවැතැ අවුත් කුඹ ගසෙහි ම ලැගෙයි. එසේ ම සංස්කාරොපෙක්‍ෂාඥානය ශාන්ති පදය වූ නිර්වාණය ශාන්ත හෙයින් දකී නම් සියලු සංස්කාර ප්‍ර‍වෘත්තිය හැර නිර්‍වාණයට ම පනී. එසේ නො දකී නම් නැවැතැ නැවැතැ සංස්කාරයන් අරමුණු කොට පවතී. ඒ විදර්‍ශකා ඥානය කුලු අග පොළනු ලබන පිටි මෙන් ද, ((කපු පොළන දුන්නෙන් පොළා) ඇට හරන ලද කපු පුළුන් මෙන් ද, නානාප්‍ර‍කාරයෙන් සංස්කාරයන් පරිග්‍ර‍හ කොට භය ද, නන්‍ද්‍රිය ද, හැරපියා සංස්කාර පරිග්‍ර‍හයෙහි මැදැහැත් වැ ත්‍රිවිධානුදර්‍ශනා වශයෙන් සිටී. මෙසේ පරිග්‍ර‍හයෙහි මැදහත් වැ ත්‍රිවිධානුදර්‍ශනා වශයෙන් සිටී. මෙසේ සිටි ඒ සංස්කාරෝපේක්‍ෂාඥානය ත්‍රිවිධ විමෝක්‍ෂ මුඛභාවයට පැමිණ සද්ධානුසාරි ආදී සප්තආර්‍ය්‍යපුද්ගලභාවය පිණිස ප්‍ර‍ත්‍යය වේ. ත්‍රිවිධ අනුපස්සනා වශයෙන් පවත්නා හෙයින් ශ්‍ර‍ද්ධා- සමාධි- ප්‍ර‍ඥා යන ත්‍රිවිධ ඉන්‍ද්‍රියන් ගේ අධිපති වශයෙන් ත්‍රිවිධ විමෝක්‍ෂ මුඛභාවයට පැමිණේ නම්වේ.

 

විස්තර:- අනිච්චානුපස්සනාව බහුලවූවහුට ශ්‍ර‍දේධන්‍ද්‍රියය බලවත් වේ. අනිමිත්තවිමොක්‍ෂ මුඛය වේ. දුක්ඛානුපස්සනාව බහුලවූවහුට සමාධින්‍ද්‍ර‍යි බලවත් වේ. අප්‍ර‍ණිහිත විමොක්‍ෂ මුඛය වේ. අනත්තානුපස්සනාව බහුලවූවහුට ප්‍රඥෙන්‍ද්‍රියය බලවත් වේ. ශුන්‍යතා විමොක්‍ෂ මුඛය වේ. මෙසේ ත්‍රිවිධ ඉන්‍ද්‍රියයන්ගේ අධිපත් භාවයෙන් ත්‍රිවිධ විමොක්‍ෂමුඛ භාවයට යේ.

 

එයින් වදාළහ:- “තීනි ඛො පණිමානි විමොක්ඛමුඛානි ලොක නීයානාය සංවත්තන්ති. සබ්බසඞ්ඛාරෙ පරිච්ඡෙද වටුමතො සමනුපස්සනාය අනිමිත්තාය ච ධාතු යා චිත්ත සමක්ඛන්‍දනතාය සබ්බසංඛාරෙසු මනො සමුත්තෙජනතාය අප්පණිහිතාය ච ධාතුයා චිත්ත සම්පක්ඛන්‍දනතාය සබ්බ ධම්මෙ පරතො සමනුපස්සනතාය සුඤ්ඤතාය ච ධාතුයා චිත්ත සම්පක්ඛන්‍දනතාය. ඉමානි තීනි විමොක්ඛමුඛානි ලොකනීයානාය සංවත්තන්ති”[781]

 

‘ලොවින් (වට දුකින්) නික්ම යාම පිණිස මේ විමෝක්‍ෂ මුඛ තුනක් පවතී. සියලු සංස්කාරයන් උදය - ව්‍යය වශයෙන් පරිච්ඡේද හෙයින් ද, මනාව බලන හෙයින් ද, සර්‍වසංස්කාරක නිමිති නැති හෙයින් අනිමිත්ත වූ අසංඛත ධාතුවෙහි අධිචිත්තයා ගේ අනුප්‍රවේශය පිණිස ද, සියලු සංස්කාරයන් කෙරෙහි චිත්ත සමුත්තේජනය පිණිස ද, රාග ප්‍ර‍ණිධින් ගේ අභාවයෙන් අප්‍ර‍ණිහිත ධාතුවෙහි චිත්තයා ගේ අනුප්‍රවේශය පිණිස ද, සියලු සංස්කාර ධර්‍ම අනාත්ම හෙයින් බලනුවහට ආත්ම ශූන්‍ය හෙයින් ශූන්‍යතා ධාතුවෙහි චිත්තයා ගේ අනුප්‍රවේශය පිණිස ද පවතිත්. මෙසේ මේ ත්‍රිවිධ විමෝක්‍ෂ මුඛ සසර දුකින් එතර වනු පිණිස පවතී.

 

විස්තර:- පරිච්ඡේද වටුමතො යන උදය-ව්‍යය වශයෙන් පරිච්ඡේද බැවින් ද, අවටින් මං සෙවීම් වශයෙන් පරිවටුම් බැවින් ද යන අර්‍ථ යි.

 

ඒ මෙසේ යි:- අනිච්චානුපස්සනාව උදයයෙන් පූර්‍වයෙහි සංස්කාර නැතැයි පිරිසිඳ ඒ සංස්කාරයන් ගේ නිෂ්පත්තිය (ගතිය) සොයනුයේ ව්‍යායයෙන් මත්තට නොයේමැ යි. මෙහි ම අතුරුදහන් වේය යි, පරිවටුම හෙයින් බලයි.

 

මනොසමුත්තෙජනතාය” යනු සංස්කාරයන් ගේ ස්වභාවය සැලකීමෙන් සංවේගයට පැමිණි චිත්තය සම්‍යක් ප්‍ර‍තිපත්තියෙහි තියුණු කරන පිණිස යන අර්‍ථ යි. දුක්ඛානුපස්සනාවෙන් චිත්තය සංවේගයට පැමිණේ.

 

පරතොසමනුපස්සනතාය” යනු (මම නො වෙමි. මාගේ නො වේය යි මෙසේ) අනාත්ම හෙයින් මෙනෙහි කිරීම පිණිස යැ. මෙසේ මේ පදත්‍ර‍ය අනිත්‍යානුදර්‍ශනාදි වශයෙන් කියන ලදි. එහෙයින් ම “අනිච්චතො මනසිකරොතො කථං ඛයතො සංඛාර උපට්ඨහන්ති” අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට කෙසේ ක්‍ෂය වශයෙන් සංස්කාර වැටහේදැ යි’ කී ප්‍ර‍ශ්න විසඳීමෙහි ලා අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නහුට ක්‍ෂය වශයෙන් සංස්කාර වැටහේ. දුක් වශයෙන් මෙනෙහි කරන්නහුට භය වශයෙන් සංස්කාර වැටහේ. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නහුට ශූන්‍ය හෙයින් සංස්කාර වැටහේය යි කියන ලදි.

 

විමොක්ඛ = මේ අනුපස්සනාවන් ම මුඛවන්නා වූ ඒ විමොක්‍ෂයෝ කවරහූ ද නිත්‍ය නිමිති ආදිය ගේ අභාවයෙන් අනිමිත්ත විමොක්‍ෂණය, තෘෂ්ණා ප්‍ර‍ණිධීන් ගේ අභාවයෙන් අප්‍ර‍ණිහිතා විමෝක්‍ෂය, ආත්ම ශූන්‍යතායෙන් ශූන්‍යතා විමෝක්‍ෂය දැ යි මේ විමෝක්‍ෂයෝ තිදෙන වෙත්.

 

එයින් වදාළහ:- “අනිච්චතො මනසි කරොන්තො අධි මොක්ඛ බහුලො අනිමිත්තවිමොක්ඛං පටිලභති. දුක්ඛතො මනසි කරොන්තො පස්සද්ධි බහුලො අප්පණිහිත විමොක්ඛං පටිලභති. අනත්තතො මනසි කරොන්තො වෙදබහුලො සුඤ්ඤතා විමොක්ඛං පටිලභති[782]

 

‘අනිත්‍ය හෙයින් මෙනෙහි කරන යෝගී අධිමෝක්‍ෂය බහුල වූයේ අනිමිත්ත විමෝක්‍ෂය පිළිලබ යි. දුඃඛ වශයෙන් මෙනෙහි කරනුයේ සංසිඳීම් බහුල වූයේ අප්‍ර‍ණිහිත විමෝක්‍ෂය පිළිලබ යි. අනාත්ම හෙයින් මෙනෙහි කරනුයේ ආත්ම ශුන්‍යතානුදර්‍ශන බහුල වූ යේ ශූන්‍යතා විමෝක්‍ෂය පිළිලබ යි.’

 

විස්තර:- එහි “අනිමිත්තවිමොක්ඛො” යනු අනිත්‍යානු දර්‍ශනයෙන් අනිමිත්ත වශයෙන් සංස්කාරයන් පරිග්‍ර‍හ කොට විදර්‍ශනා වඩන යෝගීහු ගේ අනිමිත්තාකාරයෙන් නිර්‍වාණය අරමුණු කොට පැවැති ආර්‍ය්‍ය මාර්‍ගය යි.

 

ඒ මෙසේ යි:- ඒ ආර්‍ය්‍යමාර්‍ගය අනිමිත්ත ධාතුවෙන් උපන් හෙයින් අනිමිත්ත නම් ද, කෙලෙසුන් කෙරෙන් මිදුණු හෙයින් විමොක්ඛ නම් ද වේ. මේ ක්‍ර‍මයෙන් ම අප්‍ර‍ණිහිතාකාරයෙන් නිර්‍වාණය අරමුණු කොට පැවැති ආර්‍ය්‍යමාර්‍ගය අප්‍ර‍ණිහිත විමෝක්‍ෂ නමි. ශූන්‍යතාකාරයෙන් නිර්‍වාණය අරමුණු කොට පැවැති ආර්‍ය්‍ය මාර්‍ගය ශූන්‍යතාවිමෝක්‍ෂය යි දතයුතු.

 

ප්‍ර‍ශ්නයෙකි:- ආර්‍ය්‍යමාර්‍ගය ත්‍රිවිධ විමෝක්‍ෂනාමය ලබා නම් අභිධර්‍මයෙහි කුමක් හෙයින් විමොක්ෂ ද්‍වයයෙක් ආයේ ද

 

“යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නීයානිකං අපචයගාමි දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙච කාමෙහි- පඨමජ්ඣානං උපස්මපජ්ජ විහරති. අප්පණිහිතං -පෙ- සුඤ්ඤතං[783]

 

‘යම් කලෙක දෘෂ්ටීන් ගේ ප්‍ර‍හාණය පිණිස (සෝවාන් ඵලයට පැමිණීම පිණිස) නීයානික වූ ත්‍රෛභූමක වූ සංස්කාරයන් විධ්වංසනය කෙරෙමින් පැවැති ලෝකෝත්තර ධ්‍යානය වඩා ද කාමයෙන් (සමුච්ඡෙද ප්‍ර‍මාණයෙන්) වෙන්වැ අප්පණිහිත නම් වූ ද, සුඤ්ඤත නම් වූ ද ප්‍ර‍ථම ධ්‍යානයට පැමිණ වෙසේ ද, එහෙයින් මෙසේ විමොක්‍ෂ දෙකක් ම වදාරන ලදැයි දත යුතු.

 

විශේෂ:- අභිධර්‍ම පර්‍ය්‍යායයෙහි ඒ විමොක්‍ෂද්‍වයයක් (නිෂ්පර්‍ය්‍යායෙන්) විදර්‍ශනායෙන් මාර්‍ගගමනය සඳහා වදාරන ලදී.

 

අනිමිත්ත විපස්සනා ආගමනීය ස්ථානයෙහි සිට තමා ගේ මාර්‍ගයට නම් දෙන්නට නො පොහොසත් වේ. (සත්‍යයෙහි මේ පිළිබඳ මතාන්තර සහිත වැ විස්තර වේ.)

 

විස්තර:- විදර්‍ශනා ඥානය වැලිත් (පටිසම්භිදාමග්ගයෙහි) අනිච්චානුපස්සනා ඤාණය නිත්‍ය වශයෙන් අභිනිවේශය මුදන හෙයින් සුඤ්ඤතාවිමොක්ඛය, දුක්ඛානුපස්සනා ඤාණය සුඛ වශයෙන් අභිනිවෙශය මුදන හෙයින් සුඤ්ඤතාවිමොක්ඛ ය. අනත්තානුපස්සනා ඤාණය ආත්ම වශයෙන් අභිනිවේශය මුදන හෙයින් සුඤ්ඤතාවිමොක්ඛය යි. මෙසේ අභිනිවෙශ මුඤ්චන වශයෙන් සුඤ්ඤතාවිමොක්ඛයයි ද,

 

අනිච්චානුපස්සනා ඤාණය නිත්‍ය වශයෙන් පැවැති සංස්කාර නිමිත්ත මුදන හෙයින් අනිමිත්තවිමෝක්‍ෂයයි, දුක්ඛානුපස්සනා ඤාණය සුඛ වශයෙන් පැවැති සංස්කාර නිමිත්ත මුදන හෙයින් අනිමිත්තවිමෝක්‍ෂයයි, අනත්තානුපස්සනා ඤාණය ආත්ම වශයෙන් පැවැති සංස්කාර නිමිත්ත මුදන හෙයින් අනිමිත්ත විමොක්‍ෂය යි , මෙසේ නිමිත්ත මිදීම් වශයෙන් අනිමිත්ත විමොක්‍ෂය යි ද,

 

අනිච්චානු පස්සනා ඤාණය නිත්‍ය වශයෙන් පැවැති තෘෂ්ණා ප්‍ර‍ණිධිය මුදන හෙයින් අප්‍ර‍ණිහිතවිමොක්‍ෂය යි ද, දුක්ඛානුපස්සනා ඤාණය සුඛ වශයෙන් පැවැති තෘෂ්ණා ප්‍ර‍ණිධිය මුදන හෙයින් අප්‍ර‍ණිහිතවිමෝක්‍ෂය යි, අනත්තානුපස්සනා ඤාණය ආත්ම වශයෙන් පැවැති තෘෂ්ණා ප්‍ර‍ණිධිය මුදන හෙයින් අප්‍ර‍ණිහිතවිමෝක්‍ෂය යි, මෙසේ ප්‍ර‍ණිධි මිදීම් වශයෙන් අප්‍ර‍ණිහිතවිමෝක්‍ෂය යි ද කියන ලදි.

 

එහෙත් ඒ ත්‍රිවිධ විදර්‍ශනාඥානය සංස්කාර නිමිත්ත දුරු නො කරන හෙයින් නිෂ්පර්‍ය්‍යායයෙන් අනිමිත්තවිමෝක්‍ෂ නො වේ.

 

නිෂ්පර්‍ය්‍යායයෙන් වනාහි සුඤ්ඤතාවිමෝක්ඛ ද, අප්පණිහිත විමෝක්ඛ ද වේ. අභිධර්‍ම ක්‍ර‍මයෙහි ඒ දර්‍ශන (ඥාන) යාගේ ආගමන වශයෙන් ආර්‍ය්‍යමාර්‍ගක්ෂණයෙහි විමෝක්ෂයට නගන ලදි. එහෙයින් නිෂ්පර්‍ය්‍යාය භාවයෙන් අප්පණිහිත යැ, සුඤ්ඤත යැ යි විමෝක්ෂ දෙක්ක ම වදාරණ ලදැ යි දතයුතු.

 

මේ විමොක්ඛ කථා යැ.

 

‘මේ සප්ත ආර්‍ය්‍ය පුද්ගල විභාගය පිණිස ප්‍ර‍ත්‍ය වේය යි’ කී හෙයින් මෙහි ඒ ආර්‍ය්‍ය පුද්ගල විභාගය වේ. සද්ධානුසාරී යැ, සද්ධාවිමුත්ත යැ, කායසක්ඛි යැ, උභතොඵාගවිමුත්ත යැ, ධම්මානුසාරී යැ, දිට්ඨප්පත්ත යැ,  පඤ්ඤාවිමුත්ත යැ, යන මොහු සප්ත ආර්‍ය්‍ය පුද්ගලයෝ යි. ඔවුන්ගේ එම විභාගයට මේ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය ප්‍ර‍ත්‍යය වේ.

 

විස්තර:- යමෙක් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ ශ්‍ර‍ද්ධාව බහුල කොට ඇත්තේ ශ්‍ර‍ද්ධේන්‍ද්‍රිය ප්‍ර‍තිලාභය කෙරේ ද ඒ ආර්‍ය්‍ය පුද්ගලයා සෝවාන් මාර්‍ග ක්‍ෂණයෙහි සද්ධානුසාරී නම් වේ. සෙසු සත්-මාර්‍ග ඵලයන්හි දී සද්ධවිමුත්ත වේ. යමෙක් දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නේ පස්සද්ධි බහුල වූයේ සමාධින්‍ද්‍රිය ප්‍ර‍තිලාභය කෙරේ ද ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ හැම තන්හි ම කායසක්ඛි නම් වේ.

 

අරූප ධ්‍යානයට පැමිණ අර්හත්‍වයට පැමිණියේ උභතොභාග විමුත්ත නම් වේ.

 

යමෙක් වනාහි අනාත්ම වශයෙන් මෙනෙහි  කරන්නේ වදෙ (දැනීම) බහුල කොට ඇත්තේ ප්‍රඥෙන්‍ද්‍රියය ප්‍ර‍තිලාභය කෙරේ ද ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ සෝවාන් මාර්‍ගක්‍ෂණයෙහි ධම්මානුසාරී නම් වේ. සෝවාන් ඵලය පටන් අර්‍හත්මාර්‍ග ක්‍ෂණය තෙක් සතන්හි දිට්ඨප්පත්ත නම් වේ. අර්හත් ඵලයෙහි පඤ්ඤාවිමුත්ත නම් වේ.

 

මේ සඳහා “අනිච්චතො මනසිකරොතො සද්ධින්‍ද්‍රියං අධිමත්තං හොති. සද්ධින්‍ද්‍රියස්ස අධිමත්තත්තා‍, සොතාපත්ති මග්ගං පටිලභති. තෙනවුච්චති සද්‍ධානුසාරීති. තථා අනිච්චතො මනසිකරොතො සද්ධින්‍ද්‍රියං අධිමත්තං හොති. සද්‍ධින්‍ද්‍රියස්ස අධිමත්තත්තා සොතාපත්තිඵලං සච්ඡිකතං හොති. තෙන වුච්චති සද්‍ධා විමුත්තොති[784] වදාරන ලදි. (අර්‍ථ කීයේමැ යි.) තවද හේතුඵල විශ්වාස කෙරෙමින් කෙලෙසුන් කෙරෙන් මිදුනේ සද්ධාවිමුත්ත නම් වේ. වුඨානන්තයෙහි (අරූපධ්‍යානයට අනතුරු වැ) මාර්‍ගඵල ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කෙළේනු යි කායසක්ඛි නම් වේ. දර්‍ශනාන්තයෙන් (සෝතාපත්ති මාර්‍ගයට අනතුරු වැ) සෝතාපත්ති ඵලයෙහි පටන් අර්‍හත් මාර්‍ගය තෙක් පැමිණියේ නු යි දිට්ඨපත්ත නම් වේ. හැදහීමෙන් කෙලෙසුන් කෙරෙන් මිදුණේ සද්‍ධාවිමුත්ත නම් වේ. ධ්‍යානය පළමු ස්පර්‍ශ කොට පසුවැ නිරෝධය (නිර්‍වාණය) ප්‍ර‍ත්‍යක්‍ෂ කරනුයේ කායසක්ඛි නම් වේ. සංස්කාර දුක් යැ, නිරෝධය සුඛයැ යි දක්නා ලද්දේ ප්‍ර‍කට කොට දක්නා ලද්දේ ස්පර්‍ශ කරන ලද්දේනු යි දිඨප්පත්ත නම් වේ.

 

මේ සද්ධානුසාරී ආදී සතර පදයන් අතුරින් ශ්‍ර‍ද්ධාව අනුවැ යේනු යි හෝ ශ්‍ර‍ද්ධාවෙන් අනුවැ යේනු යි සද්ධානුසාරී නමි. ප්‍ර‍ඥාව අනුවැ යේනුයි (ධර්‍මයෙන්) ප්‍ර‍ඥාවෙන් අනුවැ යේනු යි ධම්මානුසාරී නමි. අරූපධ්‍යානයෙන් ද, ආර්‍ය්‍යමාර්‍ගයෙන්දැ යි දෙකොටසින් මුක්තවූයේනු යි උභතොභාගවිමුත්ත නමි. (රූපකාය - නාමකාය වශයෙන් හෝ විෂ්කම්භන - සමුච්ඡෙද වශයෙන් හෝ උභය භාගයෙන් හෝ උභය වාරයෙන් මිදුණේ උභතොභාග විමුක්ත යැ යනු ටීකාර්‍ථ යි.) අනිත්‍යාදි වශයෙන් ප්‍ර‍කාරයෙන් දැන කෙලෙසුන් කෙරෙන් මිදුණේනු යි පඤ්ඤාවිමුත්ත නමැ යි මෙසේ වචනාර්‍ථ දතයුතු.

 

(සඞ්ඛාරුපෙක්ඛා ඤාණය යි.)

 

මේ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය පළමු කී (මුඤ්චිතුකම්‍යතා - පටිසඞ්ඛානුපස්සනා යන) ඤාණ දෙක හා අර්‍ථ වශයෙන් එකෙකි. (ප්‍ර‍වෘත්ති ආකාරයෙන් වෙනසි.)

 

එහෙයින් කීහ පැරැණියෝ:- “ඉදං සඞ්ඛාරුපෙක්ඛාඤාණං එවමෙව තීනි නාමානි ලභති. හෙඨා මුඤ්චිතුකම්‍යතාඤාණං නාම ජාතං. මජ්ඣෙ පටිසඞ්ඛානුපස්සනා ඤාණං නාම. අන්තෙ ච සිඛාප්පත්තං සංඛාරුපෙක්ඛා ඤාණං නාම”[785]

 

‘එකල මේ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය යටැ මුඤ්චිතුකම්‍යතා ඤාණ නමැ යි ද, මැද පටිසඞ්ඛානුපස්සනා ඤාණ නමැයි ද, අන්තයෙහි මස්තකප්‍රාප්ත වූයේ සඞ්ඛාරුපෙක්ඛ ඤාණ නම්දැ යි නම් තුනක් ලබයි.

 

පෙළෙහි ද- කථං මුඤ්චිතුකම්‍යතා පටිසංඛාසන්තිඨනා පඤ්ඤා සංඛාරුපෙක්ඛාසු ඤාණං පවත්තං -පෙ- නිමිත්තං -පෙ- උපායාසං මුඤ්චිතුකම්‍යතා පටිසඞ්ඛා සන්තිඨනා පඤ්ඤා සංඛාරුපෙක්ඛාසු ඤාණං. උප්පාදො දුක්ඛන්ති -පෙ- භයන්ති සාමිසන්ති -පෙ- උප්පාදො සංඛාරාති -පෙ- උපායාසො සංඛාරාති මුඤ්චිතුකම්‍යතා පටිසංඛා සන්තිඨානා පඤ්ඤා සංඛාරුපෙක්ඛාසු ඤාණං”1 මුඤ්චිතුකම්‍යතා ඤාණය, පටිසඞ්ඛා ඤාණය, සන්තිට්ඨනා ඤාණය යන තුන කෙසේ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය වේ ද පැවැත්ම ද, නිමිත්ත ද -පෙ- උපායාසය ද, මුඤ්චිතුකම්‍යතා ඤාණය, පටිසංඛා ඤාණය, සන්තිටඨනා ඤාණය යන තුන සංඛාරුපෙක්ඛා ඤාණය යි. උත්පාදය දුකයැ යි ද, භයෙකැයි ද, සාමිෂයැ යි ද -පෙ- උත්පාදය සංස්කාරයැ යි ද -පෙ- උපායාසය සංස්කාරයැයි යි ද, මුඤ්චිතුකම්‍යතා - පටිසංඛා- සන්තිට්ඨනා ඤාණය සංඛාරුපෙක්ඛාහි ඤාණය යි.

 

මුඤ්චිතුකම්‍යතා ද -පටිසංඛා ද - සන්තිට්ඨානා ද හේමනු යි මුඤ්චිතුකම්‍යතා-පටිසංඛා-සන්තිට්ඨනා නම.

 

මෙසේ මාර්‍ගයට පූර්‍වයෙහි නිර්වේදඥානයෙන් කළකිරුණු පුද්ගලයා ගේ උත්පාදාදීන් (ඡන්‍දරාග ප්‍ර‍හාණයෙන්) හරිනු කැමති බව මුඤ්චිතුකම්‍යතා නම. මිදීමට උපාය කරනු පිණිස මධ්‍යයෙහි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කිරීම පටිසඞ්ඛා ඤාණ නමි.

 

මිදීමෙන් අවසන්හි අපේක්‍ෂාව හැරීම වශයෙන් මැදිහත්වීම සන්තිට්ඨනා නම.

 

ඒ සඳහාම - “උත්පාදය සංස්කාර යැ, සංස්කාරයන් ගේ මැදහත් බව බැලීම සඞ්ඛාරුපෙක්ඛා යැ” යනාදිය කී මෙසේ මේ ත්‍රිවිධ ඥානය එකෙක් මැ යි. වැලි මේ පිළිවෙළින් ද එකක්මය යි දතමනා යැ.

 

“යා ච මුඤ්චිතුකම්‍යතා, යා ච පටිසඞ්ඛා‍, යා ච සංඛාරු පෙක්ඛා ඉමෙ ධම්මා එකට්ඨා ව්‍යඤ්ජනමෙව නානා”[786] ‘යම් මුඤ්චිතුකම්‍යතායෙක් වේ ද යම් පටිසංඛාඤාණයෙක් වේද, යම් සංඛාරුපෙක්ඛාඤාණයෙක් වේ ද මේ ධර්‍මයෝ ඒකාර්‍ථය හ. ව්‍යඤ්ජනයහ වෙනසි’ යි එහෙයින් කියන ලදි. 

 

මෙසේ අධිගත සංඛාරුපෙක්ඛාඤාණ ඇති මේ කුල පුත්‍ර‍යාගේ මස්තකප්‍රාප්ත විදර්‍ශනාව වුට්ඨාන සංඛ්‍යාත මාර්‍ගයට යන හෙයින් වුට්ඨානගාමිනී වේ.

 

විශේෂ:- සිඛාප්පත්තවිපස්සනා යැ යි ද වුට්ඨානගාමිනී යැයි ද, මෙකී සංඛාරුපෙක්ඛා ය, අනුලොම ය, ගෝත්‍ර‍භූය යන මේ ඤාණ තුනට ම නමි.

 

ඒ සංස්කාරෝපේක්‍ෂා ඥානය (සිඛාවට) කෘත්‍ය වශයෙන් ද, ප්‍ර‍වෘත්ති වශයෙන් ද, ලෞකික ඥානයන් ගේ මස්තකයට උත්තම භාවයට පැමිණි හෙයින් සිඛාප්‍රාප්ත නම් වේ. වුට්ඨානයට (නැගීමට) යන හෙයින් වුට්ඨානගාමිනී නමුදු වේ.

 

ඒ මෙසේ යි:- පිටත විදර්‍ශනාවට අරමුණු වූ අභිනිවේශ කළ පඤ්චස්කන්ධ සංඛ්‍යාත වස්තුවෙන් ද, ස්වසන්තානයෙහි පවත්නා හෙයින් අජ්ඣත්තප්පත්තයි යි කියන ලද මිථ්‍යාදෘෂ්ටි ආදියෙන් හා ඒ අනුවැපවත්නා කෙලෙසුන් කෙරෙන් ද නැගී සිටින හෙයින් මාර්‍ගය වුට්ඨානය යි කියනු ලැබේ. ඒ වුට්ඨානයට යන හෙයින් වුට්ඨානගාමිනී නම. මාර්‍ගය හා ඝටනා කරනු ලැබේ යන අර්‍ථයි.

 

එහි අභිනිවේශ - වුට්ඨානයෙන් හෙළි පෙහෙළි වීම සඳහා මේ මාතෘකාවය අද්‍ධ්‍යාත්මයෙහි පිවිස අද්‍ධ්‍යාත්මයෙන් නැගී සිටී. අද්‍ධ්‍යාත්මයෙහි පිවිස බාහිරයෙන් නැගී සිටී. බාහිරයෙහි පිවිස අද්‍ධ්‍යාත්මයෙන් නැගී සිටී.

 

රූපයෙහි පිවිස රූපයෙන් නැගී සිටී. රූපයෙහ පිවිස අරූපයෙන් නැගී සිටී. අරූපයෙහි පිවිස අරූපයෙන් නැගී සිටී. අරූපයෙහි පිවිස රූපයෙන් නැගී සිටී.

 

ඒක ප්‍ර‍හාරයෙන් පඤ්චස්කන්‍ධයෙන් නැගී සිටී.

 

අනිත්‍ය විසින් පිවිස අනිත්‍ය විසින් නැගී සිටී. අනිත්‍ය විසින් පිවිස දුක් විසින් ද, අනාත්ම විසින් ද නැගී සිටී. දුක් විසින් පිවිස දුක් විසින් ද, අනිත්‍ය විසින් ද, අනාත්ම විසින් ද, නැගී සිටී. අනාත්ම විසින් අනාත්ම විසින් ද, අනිත්‍ය විසින් ද, දුක් විසින් ද නැගී සිටී.

 

කෙසේ ද යත්:- මේ ශාසනයෙහි ඇතැම් යෝගාවචරයෙක් පළමුකොට ම අධ්‍යාත්ම සංස්කාරයන් විෂයෙහි පිවිසෙ යි. (විදර්‍ශනාව ආරම්භ කෙරේ.) පිවිස ඒ සංස්කාරයන් බල යි. හුදු අධ්‍යාත්ම සංස්කාරයන්හි මාර්‍ග ව්‍යුත්‍ථානය නො වන හෙයින් පිටත්හිදු බැලිය යුතු වේ. එහෙයින් පරසන්තාන ගත ස්කන්‍ධයන් ද, අනීන්‍ද්‍රියබද්ධ සංස්කාරයන් ද අනිත්‍ය යැ. දුඃඛ යැ, අනාත්මයැ යි දකී. ඒ යෝගී කලෙක ස්වසන්තානය ද, කලෙක පරසන්තානය ද, සන්මර්‍ශනය කෙරේ. මෙසේ සන්මර්‍ශනය කරන ඒ යෝගී අධ්‍යාත්ම ධර්‍මයන් සන්මර්‍ශනය කරන කාලයෙහි විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම් අධ්‍යාත්මයෙහි පිවිස අධ්‍යාත්මයෙන් නැගී සිටී නම් වේ. බාහිර ධර්‍මයන් සන්මර්‍ශනය කරන කලැ විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම් අධ්‍යාත්මයෙහි පිවිස බාහිරයෙන් නැගී සිටී නම් වේ. පිටත්හි පිවිස පිටතින් ද, අධ්‍යාත්මයෙන් නැගී සිටීමෙහිදු මේ ක්‍ර‍මය මැයි. අනෙක් යෝගියෙක් ආදියෙහි ම රූපයෙහි පිවිසෙයි. පිවිස භූත රූප ද, උපාදාරූප ද රැසක් කොට දකී. හුදු රූප දර්‍ශන මාත්‍රයෙන් ම මාර්‍ග ව්‍යුත්‍ථාපනය නො වන හෙයින් අරූපය ද දැකිය යුතු වේ. එහෙයින් ඒ රූපය අරමුණු කොට උපන් ‘වේදනා - සංඥා - සංස්කාර - විඥාන යන මෙය අරූපය’යි අරූපය සන්මර්‍ශනය කෙරේ. හෙතෙම කලෙකැ රූපය සන්මර්‍ශනය කෙරේ. කලෙක අරූපය සන්මර්‍ශනය කෙරේ. මෙසේ සන්මර්‍ශනය කරන ඒ යෝගීහට රූප සන්මර්‍ශනය කරන කාලයෙහි විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම් මේ අරූපයෙහි පිවිස අරූපයෙන් නැගී සිටී නම් වේ. අරූප සන්මර්‍ශනය කරන කාලයෙහි විදර්‍ශනාව මාර්‍ගය හා ගැලපේ නම් මේ අරූපයෙහි පිවිස අරූපයෙන් නැඟී සිටී නම් වේ.

 

අරූපයෙහි පිවිස අරූපයෙන් නැගී සිටීමෙහි ද රූපයෙහි පිවිස රූපයෙහි නැඟී සිටීමෙහිදු මේ ක්‍ර‍මය මැ යි.

 

යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මං”[787] යි ‘උදය වන සුලු වූයේ ව්‍යය වන සුලුයැ යි’ මෙසේ අභිනිවේශ කොට එසේම ව්‍යුත්‍ථාන කාලයෙහි එක ප්‍ර‍හාරයෙන් පඤ්චස්කන්‍ධයෙන් නැඟී සිටී නම් වේ.

 

එක් යෝගියෙක් ආදියෙහි ම අනිත්‍ය හෙයින් සංස්කාරයන් සන්මර්‍ශනය කෙරේ. අනිත්‍ය හෙයින් සන්මර්‍ශනය කළ මාත්‍රයෙන් ම ව්‍යුත්‍ථානය නො වන හෙයින් දුඃඛ හෙයින් ද, අනාත්ම හෙයින් ද, සන්මර්‍ශනය කළයුතු ම වේ. එහෙයින් දුඃඛ හෙයින් අනාත්ම හෙයින් සන්මර්‍ශනය කෙරේ. එසේ පිළිපන්නහුට අනිත්‍ය හෙයින් සන්මර්‍ශනය කරන කලැ වුට්ඨානය වේ නම් මේ අනිත්‍ය විසින් පිවිස අනිත්‍ය විසින් නැඟී සිටී නම් වේ. දුඃඛ වශයෙන්, අනාත්ම වශයෙන් අභිනිවේශ කරන කල ව්‍යුත්‍ථානය වේ නම් මේ අනිත්‍ය විසින් පිවිස දුක් විසින් අනාත්ම විසින් නැඟී සිටී නම් වේ.

 

දුඃඛ හෙයින් අනාත්ම හෙයින් අභිනිවේශ කොට ශේස ව්‍යත්‍ථානයන්හිදු මේ ක්‍ර‍මය මැයි.

 

මේ යෝගීන් අතුරෙන් යමෙක් අනිත්‍ය හෙයින් ද, යමෙක් දුඃඛ හෙයින් ද, යමෙක් අනාත්ම හෙයින් ද, අභිනිවේශ කෙළේ නම් වුට්ඨාන කාලයෙහි ද අනිත්‍ය හෙයින් වුට්ඨානය වේ. තුන් දෙනම අධිමෝක්‍ෂ බහුලයෝ වෙති. ශ්‍ර‍ද්ධෙන්‍ද්‍රිය පිළිලබති. අනිමිත්ත විමෝක්‍ෂයෙන් මිදෙති. ප්‍ර‍ථම මාර්‍ගක්‍ෂණයෙහි සද්ධානුසාරීහු වෙති. සෙසු සත් තන්හි ශ්‍ර‍ද්ධා විමුක්තයෝ වෙත්.

 

දුඃඛ හෙයින් වුට්ඨානය වේ නම් තිදෙනම පස්සධි බහුලයෝ වෙති. සමාධින්‍ද්‍රිය පිළිලබති. අප්‍ර‍ණිහිත විමෝක්‍ෂයෙන් මිදෙති. සියලු තන්හි කායසක්ඛීහු වෙති.

 

අරූපධ්‍යානය මෙහිදී යමෙකුට පාදක වේ නම් හේ අර්‍හත් ඵලයෙහි දී උභතොභාග විමුක්ත වේ. වැලි අනාත්ම හෙයින් වුට්ඨානය වේ නම් ඔහු තිදෙනම ප්‍ර‍ඥා බහුලයෝ වෙති. ප්‍රඥෙන්‍ද්‍රිය පිළිලබති. ශූන්‍යතා විමෝක්‍ෂයෙන් මිදෙත්. ප්‍ර‍ථම මාර්‍ග ක්‍ෂණයෙහි ධර්‍මානුසාරීහු වෙති. සතැනෙක දිඨප්පත්තයෝ වෙති. අර්‍හත් ඵලයෙහි ප්‍ර‍ඥා විමුක්තයෝ වෙත්.

 

දැන් පූර්‍ව වූ භයතුපඨානදි ඤාණයෙන්, පසුවැ කී ගෝත්‍ර‍භු ආදී ඤාණයන් ද සමග වුට්ඨානගාමිනී විදර්‍ශනාව ප්‍ර‍කාශ කරනු පිණිස මේ දොළොස් (12) උපමාවො දතයුතු වෙත්. මේ ඔවුන්ගේ උද්දානයයි.

 

“වග්ගුලී කණහසප්පො ච - ඝරං ගො යක්ඛි දාර කො

ඛුදං පීපාසං සීතු‘ණ්හං - අන්‍ධකාරං විසෙන ච

 

වවුලී යැ, කෘෂ්ණා සර්‍ප ය, ගෘහ යැ, ගව යැ, යකිනි යැ, ළදරු යැ, ක්‍ෂුධා යැ, පිපාසා යැ, ශීත යැ, උෂ්ණ යැ, අන්‍ධකාර යැ, විෂය යැ යි මේ උපමාවෝ භයතුපඨාන ඤාණයෙහි පටන් යම්කිසි ඤාණයෙකැ සිට ඇරැ දක්වන්නට වටිත්. (මෙතැන වනාහි) මේ ව්‍යුත්‍ථාපන ගාමිනී විදර්‍ශනායෙහි ඒ උපමා ඇරැ දක්වන කල්හි භයතුපට්ඨාන ඤාණයෙහි පටන් ඵල ඤාණය දක්වා සියලු ඤාණකෘත්‍යය ප්‍ර‍කට වේ. (එහෙයින් මෙහිම ඇරැ දැක්විය යුතු යැ යනු ආශය යි.)

 

(1) වවුලී - එක් වවුලියක් ‘මෙහි මලක් හෝ ගෙඩියක් ලබමි’යි ශාඛා පසක් ඇති මී රුකෙකැ වසා එහි ශාඛාවක් පරාමර්‍ශනය කොට එහි ගතමනා කිසි මලක් හෝ ඵලයක් හෝ නොදුටුවා ය. එසේ ම දෙවන ශාඛාව ද, තුන්වන සිවුවන - පස්වන ශාඛාවන් ද පරාමර්‍ශනය කොට නො දැක්කාය. ඇය ඒකාන්තයෙන් මේ රුක ඵල නැත්තෙක. මෙහි ගතමනා කිසිවක් නැතැ යි ඒ රුකෙහි ආලය හැර සෘජු ශාඛාවට නැගී වෙලෙප් අතුරින් හිස ඇද උඩ බලා අහසෙහි පියඹා අනෙක් ඵල රුකෙක වැසුවා ය.

 

ඒ උපමාහී යෝගී වවුලිය මෙන් දතයුතු. පස් ශාඛා ඇති මීරුක මෙන් පඤ්චොපාදානස්කන්‍ධය ද, එහි වවුලිය වැසීම මෙන් යෝගියා ගේ පඤ්චස්කන්‍ධයෙහි අභිනිවේශය ද, ඇය ගේ එක එක ශාඛාව පරාමර්‍ශනය මෙන් යෝගියා ගේ රූපස්කන්‍ධය සන්මර්‍ශනය කොට ගතමනා කිසිවක් නො දැක සෙසු ස්කන්‍ධයන් සන්මර්‍ශනය ද, ඇය මේ රුක නිශ්චලය යි රුකෙහි ආලය හැරීම මෙන් පඤ්චස්කන්‍ධයෙහි අනිත්‍ය ලක්‍ෂණාදිය දැකීම් වශයෙන් කළකිරුණු යෝගීහු ගේ මුඤ්චිතුකම්‍යතා -පටි-සඞ්ඛානුපස්සනා - සඞ්ඛාරුපෙක්ඛා යන ඤාණ තුන ද, ඇය සෘජු ශාඛාවෙන් මත්තෙහි නැඟීම මෙන් යෝගීහු ගේ අනුලෝම ඤාණය ද, හිස නගා උඩ බැලීම සේ ගෝත්‍ර‍භූ ඤාණය ද ආකාශයෙහි ඉහළ නැගීම මෙන් මාර්‍ග ඤාණය ද, අන් ඵල රුකෙක වැසීම මෙන් ඵල ඤාණය ද දත යුතු යි.

 

(2) කෘෂණසර්ප, පටිසඞ්ඛාන ඤාණයෙහි කී සේ මැයි. මේ උපමාන -උපමෙය සංසන්‍දනය යි:- සර්‍පයා හැරීම මෙන් ගෝත්‍ර‍භූ ඤාණය, මුදා හැර ආ මග බලන්නා සේ මාර්‍ග ඤාණය ද මිදී අභය ස්ථානයෙහි සිටීම සේ ඵල ඤාණය ද වේ. මේ මෙහි වෙනස යි.

 

(3) ගෘහ, ගෙහිමියා රෑ අහර කිස නිමවා යහනයට නැගී නිදි ගත් කලැ ගෙය ගිනි ගත්තේය. හේ පිබිදී ගිනි දැක බිය වී මේ ගින්නෙන් නො දැවී නික්ම යෙම් නම් මැනැවැ යි බලන්නේ මගක් දැක නික්ම වේගයෙන් නිර්‍භය ස්ථානයකට ගොස් සිටියේ ය.

 

එහි ගෙහිමියා අහර ගෙන යහනට නැගී නිදීම සේ බාල පුහුදනා ගේ පස්කඳෙහි ‘මම යැ මාගේය’ යි මමායනය ද, පිබිද ගිනි දැක බිය පත් කල මෙන් සම්‍යක් ප්‍ර‍තිපත්තියට පිළිපැද තිලකුණු දැකි භයතුපට්ඨාන ඤාණයද නික්මෙන මග සෙවීම මෙන් මුඤ්චිතුකම්‍යතා ඤාණය , මග දැකීම මෙන් අනුලෝම ඤාණය ද, නික්ම යාම සේ ගෝත්‍ර‍භූ ඤාණය ද, වේගයෙන් යාම සේ මාර්‍ගඤාණය ද, අභය ස්ථානයෙහි සිටීම සේ ඵලඥානය ද දත යුතු.

 

(4) ගව, එක් ගොවියකු රෑ නිදි ගත් කල ගාල බිඳගෙන ගවයෝ පලා ගියහ. හේ අලුයමැ එහි ගොස් බැලු කලැ ඔවුන් පැන ගිය බව දැන පිය අනු වැ ගොස් රජුගේ ගොන්නු දිටී. මේ මාගේ ගෙරිහු යැයි සිතා ගෙනෙන්නා වූ හෙතෙමේ අලුයම්හි “මේ මාගේ ගෙරිහු නොවෙති, රජු ගේ ගෙරිහු යැයි” හැඳින “මේ සොරකැ”යි මා රාජ පුරුෂයන් දැක අල්ලා පෙළන්නට පෙර පලායෙමැ යි බිය වැ ගොනුන් හැර වේගයෙන් පලා ගොස් බිය නැති තැනෙක සිටියේ යැ. ඒ උපමාහි - මාගේ ගෙරිහු යැයි රජුගේ ගොනුන් ගැනීම සේ බාල - පෘථග්ජනයන් ගේ ‘මම යැ මාගේ යැ’යි ගැනීම ද, අලුයම්හි රජුගේ ගෙරිහු ය’යි හැඳිනීම සේ යෝගීහුගේ තිලකුණු වශයෙන් අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යැ යි ස්කන්‍ධයන් හැඳිනීම ද, භීත කාලයේ භයතුපඪානඤාණය ද, හැරැපීම යනු කැමැත්ත මුඤ්චිතුකම්‍යතා ඤාණය ද, හැරැපීම සේ ගෝත්‍ර‍භු තාණය, පලා යාම සේ මාර්‍ගය ද, පලා ගොස් අභය ස්ථානයෙහි සිටීම සේ ඵලය ද, දතයුතු.

 

(5) යකිනි, එක් පුරුෂයෙක් යකින්නක හා සසඟ කෙළේ ය. ඕ රෑ කල “මෙතෙමේ නිදහස් වන්නේ” යයි සිතා අමුසොහොනට ගොස් මිනීමස් කයි. හේ “මැය කොහිදැයි” ලුහුබැඳ මිනීමස් කන්නිය දැක ඇය නො මිනිස් බව දැන මා කන්නට පෙරාතුව ම පැන යවමි” භීත වැ වේගයෙන් පලා ගොස් අභය ස්ථානයෙකැ සිටියේය. ඒ උපමාහි - මිනිසා ගේ යකින්නට හා සහවාසය සේ ස්කන්‍ධයන් “මම යැ මාගේ යැ”යි ගැනීමද, සොහොනෙහි මිනීමස් කන්නිය දැක “මෝ යකින්නකැ” යි දැනීම මෙන් ස්කන්‍ධයන් ගේ තිලකුණු දැක අනිත්‍යාදි බව් දැනීමද, බියපත් කල සේ භයතුපඪානඤාණය , පලා යනු කැමැත්ත සේ මුඤ්චිතුකම්‍යතා ඤාණය ද, සොහොන් හැරීම සේ ගෝත්‍ර‍භු ඤාණය ද, වේගයෙන් පලා යෑම සේ මාර්‍ගඥානය ද, අභය ස්ථානයෙහි සිටීම සේ ඵල ඥානය ද දතයුතු.

 

(6) ළදරු, දරු සොඩ එක් ස්ත්‍රියක් පහයෙකැ මතු මහලේ හුන්නා ඇතුළු විථියෙහි දරු හඩක් අසා ‘ම පුතු කිසිවෙක් පෙළාදැ’යි වේගයෙන් ගොස් තමා පුතුයැ යි හැඟීමෙන් පර පුතු ගත. ඕතොමෝ ‘මේ පර පුතෙකැ’යි හඳුනා භයින් ඔබ මොබ බලන්නි ‘මෝ දරු සෙරකැයි’යි කිසිවකු කියන්නට පෙරැ දරුවා එහි බස්වා පෙරලා වේගයෙන් පහට නැගී හුන්නා ය. ‘එහි තමා පුතුයැ’යි සඤ්ඤායෙන් පර පුතු ගැනීම සේ ‘මම යැ- මාගේ යැ’යි පස් කඳු ගැනීම ද, ‘මේ පර පුතුයැ’යි හැදිනීම සේ තිලකුණු විසින් ‘මම නො වෙමි’ මාගේ නො වේ යැ’යි හැඳිනීම ද, බියවීම් මෙන් භයතුපට්ඨානය, ඔබ මොබ බැලීම සේ මුඤ්චිතුකම්‍යතා ඤාණය, එහිම දරුවා බැස්වීම සේ අනුලෝම ඤාණය, බස්වා වීථියෙහි සිටි කාලය සේ ගෝත්‍ර‍භු ඤාණය, පහට නැගීම සේ මාර්‍ගය, නැග හිඳීම සේ ඵලය ද දතයුතු.

 

ඛුදා - පිපාසා - සීත - උණ්හ - අන්‍ධකාර - විස යන උපමා සදෙන ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාවෙහි සිටියහුට ලෝකෝත්තර ධර්‍මාභිමුඛ වැ නිම්න-ප්‍ර‍වණ-ප්‍රාග්භාර භාවය දැක්වීම සඳහා කියන ලදහ.

 

(7) බඩ සයින් මඩනාලද පුරුෂයකු මිහිරි රස බොජුනක් පතන්නා සේ මේ යෝගී තෙමේ සසර වට බඩ සයින් පෙළුණේ අමාරස වූ කාගියාසි බොජුන් පතයි.

 

(8) පිපාසිත පුරුෂයකු වියළි ගෙළ මුවැතිවැ නොයෙක් ද්‍ර‍ව්‍යයෙන් යුක්ත පානයක් පතන්නා සේ මේ යෝගී තෙමේ සසර වට පවසින් පෙළුණේ අරි අටැඟි මග පානය පත යි.

 

(9) සීතලින් පෙළුණු පුරුෂයකු උණුසුම පතන්නා සේ සංසාරවට්ටයෙහි තෘෂ්ණා සෙනහ ශීතයෙන් පෙළුණේ කෙලෙස් තවන මාර්‍ගොෂණය පත යි.

 

(10) උෂ්ණයෙන් පහරන ලද පුරුෂයකු සිසිලස පතන්නා සේ සංසාර වට්ටයෙහි රාගාදි එකොළොස් (11) ගින්නෙන් තැවුණු යෝගී තෙමේ එකොළොස් ගිනි සංසිඳුවන නිවන පත යි.

 

(11) අන්‍ධකාරයෙන් මඩනා ලද පුරුෂයකු එළියක් පතන්නා සේ අවිද්‍යාන්‍ධකාරයෙන් වෙළා වටකරන ලද යෝගී තෙමේ ඤාණාලොක මාර්‍ගභාවනාව පත යි.

 

(12) විෂ කැවුණු පුරුෂයකු විෂ නසන බෙහෙතක් පතන්නා සේ ක්ලේශයෙන් වළඳනා ලද මේ යොගී තෙමේ කෙලෙස් විස මඩනා අමාඔහු නිවන පතයි.

 

“කස්සෙචං ජානතො එවං පස්සතො තීසු භවෙසු -පෙ- නවසු සත්තාවාසෙසු චිත්තං පතිලීයති. පතිකුටති පතිවට්ටති න සම්පසාරියතී. උපෙක්ඛා වා පටිකූල්‍යතා වා සණ්ඨාති. සෙය්‍යථාපි නාම පදුමපලාසෙ ඊසකපොණෙ” යනාදිය එහෙයින් වදාරන ලදී.

 

සියල්ල පෙරැ කී සෙයින් ම දත යුතුයි. මෙතෙකින් ඒ යෝගී පතිලීනචර නම් වේ.

 

“පතිලීනචරස්ස භික්ඛුනො

භජමානස්ස විචීත්ත මානසං,

සාමග්ගියමාහු තස්ස නං

යො අත්තනාං භවනෙ න දස්සයෙ”[788]

 

“තිබවේ ලොබසුන් බැවින් සිතේ

හැකුළුම් යුතු මහණු ගේ මනා

පැවැතුම් නො දැකුම් ඵනිස්සයැ යි

පියසු මැනවින් අරීදනෝ”

 

(කාමාදි භවත්‍රයෙහි තමා නො දක්වන, කාය විවේකාදීන් යුතු වූ ත්‍රිභවයෙහි නිරාලය  හෙයින් නො විසුරුණු අදහස් ඇතිවැ එහෙයින් ම හැකුළුණු සිත් ඇති භික්‍ෂුව ගේ ඒ ආදර්‍ශනය යෝග්‍ය වූ සාමග්‍රිය පැවැත්මය යි බුද්ධාදි ආර්‍ය්‍යයෝ වදාරති.)

 

මෙසේ සංඛාරුපෙක්ඛා ඤාණය යෝගීහු ගේ පතලීනචර භාවය නියම කොට මත්තෙහි ආර්‍ය්‍යමාර්‍ගයා ගේ ද, බොද්‍ධ්‍යඞ්ග මාර්‍ගාඞ්ග - ධ්‍යානාඞ්ග - ප්‍ර‍තිපදා - විමොක්‍ෂ යන මොවුන්ගේ ද, විශේෂය නියම කෙරේ.

 

ඒ මෙසේ යි.

 

(1) චූලනාග ස්ථවිරවාදයෙහි - බොජ්ඣඞ්ග සතෙක- සයෙකැ යි ද, මාර්‍ගාඞ්ග අටෙක - සතෙකැ යි ද, ධ්‍යානාඞ්ග පසෙක- සතරෙකැයි ද යනාදී විශේෂය පාදක වූ ධ්‍යානය නියම කෙරේය යි යෙති.

 

(2) මොරවැවේ වැසි මහාදත්ත ස්ථවිරයෝ:- විදර්‍ශනාවට අරමුණු වූ ස්කන්‍ධ නියම කෙරෙතැ යි යෙති.

 

(3) ත්‍රිපිටක චූලාභය ස්ථවිරවාදයෙහි:- පෙර කී උභය භේදය ඇති කල්හි ද පුද්ගලයා ගේ අද්‍ධ්‍යාශය නියම කෙරේය යි යෙති.

 

මේ තෙරුවන් ගේ වාදයන්ගෙන් මේ පූර්‍වභාග ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාව ම බොද්‍ධ්‍යඞ්ගාදීන් ගේ විශේෂය නියම කෙරෙතැ යි දතයුතු.

 

විස්තර:- (1) ඒ බොද්‍ධ්‍යඞ්ගාදි විශේෂය නියම කිරීමෙහිලා මේ පිළිවෙල කථාව යි:- විදර්‍ශනා නියමයෙන් ධ්‍යානලාභී නොවූ ශුෂ්කවිදර්‍ශකයාහට උපන් මාර්‍ගය ද, සමාපත්තිලාභී යෝගියා හට ධ්‍යාන පාදක නො කොට උපන් මාර්‍ගය ද, ප්‍ර‍ථමධ්‍යානය පාදක කොට ඒ පාදක ධ්‍යානයෙන් අන්‍ය වූ ප්‍ර‍කීණික සංස්කාරයන් සන්මර්‍ශනය කොට උපදවන ලද මාර්‍ගය ද, ප්‍ර‍ථමධ්‍යානික ම වේ. මේ තුන් ආකාර මාර්‍ගයෙහි සප්ත බොද්‍ධ්‍යඞ්ග ද, අෂ්ට මාර්ගාඞ්ග ද පඤ්චධ්‍යානඞ්ග ද වේ.

 

(මේ මෙහි ශුෂ්ක විදර්‍ශකාදීන් ගේ ග්‍ර‍හණය විදර්‍ශනා ග්‍ර‍හණයා ගේ ඓකාන්තික භාවය දක්වන පිණිස යි. වුට්ඨානගාමිනය හැර කේවල පාදකධ්‍යානාදීහු නියම හේතු විය නො හෙති. වුට්ඨානගාමිනි වනාහි පාදකධ්‍යානාදීන් ගේ අභාවයෙහිදු ශූෂ්ක විදර්‍ශකයා ගේ මාර්‍ගය ප්‍ර‍ථමධ්‍යානික වීමට හේතු වේ. එහෙයින් වුට්ඨානගාමිනී බෝධ්‍යඞ්ගාදි විශේෂ නියමයෙහි ඓකාන්තික හේතුව වේ යනු සත්‍ය යි.)

 

විස්තර:- ඒ ආර්‍ය්‍ය මාර්‍ගයන් ගේ පූර්‍වභාග විදර්‍ශනාව සොම්නස්ස සහගතව ද, උපෙක්ඛා සහගතව ද වේ. ව්‍යුත්‍ථාන කාලයෙහි (මාර්‍ගසන්න කාලයෙහි) සඞ්ඛාරුපෙක්ඛා භාවයට පැමිණ උපෙක්ඛාසසහගත ම වේ.

 

පඤ්චක නයෙහි:- දුතිය - තතිය - චතුත්‍ථජ්ඣානයන් පාදක කොට උපදවන ලද මාර්‍ගයෙහි පිළිවෙළින් ම ධ්‍යානය දුතියජ්ඣානයෙහි චතුරඞ්ගික ද, තතියජ්ඣානයෙහි චතුරඞ්ගික ද, චතුත්‍ථජඣානයෙහි දුවඞ්ගික ද වේ. මේ ද්විතීයාදි ධ්‍යානත්‍ර‍යයෙහි විතර්‍ක (සංකල්ප) නැති හෙයින් මාර්‍ගාඞ්ග සතෙක්ම වේ. සතර වන ධ්‍යානයෙහි ප්‍රීතිය නැති හෙයින් බොජ්ඣඞ්ග සතෙක් වේ. මේ විශේෂය පූර්‍වභාගයෙහි මෙන් විදර්‍ශනා නියමයෙන් නො වැ පාදකධ්‍යාන නියමයෙන් ද, විදර්‍ශනා නියමයෙන් ද වේ.

 

ඒ පඤ්චක නයෙහි, දුතිය-තතිය-චතුත්‍ථජ්ඣානයන් පාදක කොට උපදවන ලද මාර්‍ග ඇත්තවුන්ට පූර්‍වභාග විදර්‍ශනාව සොමනස්ස සහගත ද, උපෙක්ඛා සහගත ද වේ. වුට්ඨානගාමිණි ප්‍ර‍ඥාව සොමනස්ස සහගතම වේ.

 

පඤ්චමධ්‍යානය පාදක කොට නිපදවන ලද මාර්‍ගයෙහි උපෙක්ඛා චිතේතකග්ගතා වශයෙන් ධ්‍යානාඞ්ග දෙකෙක් ම වේ. පීති සම්බොජ්ඣඞ්ගය නො යෙදෙන හෙයින් බොජ්ඣඞ්ග සයක් හා සම්මා සංකප්පය කො යෙදන හෙයින් මාර්‍ගාඞ්ග සතෙක් වේ. මේ විශේෂය ද පාදකධ්‍යාන නියමය හා විදර්‍ශනා නියමය ද යන උභය නියමයන් ගේ වශයෙන් වේ. මේ ක්‍ර‍මයෙහි පූර්‍වභාග විදර්‍ශනාව සොමනස්ස සහගත හෝ උපෙක්ඛා සහගත හෝ වේ. වුට්ඨානගාමිනී විදර්‍ශනාව උපෙක්ඛාසහගත ම වේ. අරූපධ්‍යානයන් පාදක කොට උපදවන මාර්‍ගයෙහි ද මේ ක්‍ර‍මය මැ යි. මෙසේ පාදකධ්‍යානයෙන් නැගී යම් කිසි සංස්කාරයක් සන්මර්‍ශනය කොට නිපදවන ලද මාර්‍ග ඇති යෝගීහු ගේ ආසන්න ප්‍රදේශයෙහි නැගෙන ලද සමාපත්ති තොමෝ ගෝධා වර්‍ණයට භූමිවර්‍ණය මෙන් තමා හා සදෘශ කෙරේ.

 

(2) ද්‍විතීය ස්ථවිරවාදයෙහි යම් යම් සමවතකින් නැගී යම් යම් සමාපත්ති ධර්‍මයක් සම්මර්ශනය කොට මාර්‍ගය නිපදවන ලද නම් ඒ ඒ සමවත හා සමානම වේ. ඒ වාදයෙහි ද විදර්‍ශනා නියමය යට කී සෙයින් ම දතයුතු.

 

(3) තෘතීය ස්ථවිරවාදයෙහි තම තමා ගේ අදහසට අනුරූප වශයෙන් යම් යම් ධ්‍යානයෙක් පාදක කොට යම් යම් ධ්‍යාන කෙනෙකුන් සම්මර්‍ශනය කොට මාර්‍ගය නිපදවන ලද නම් ඒ ඒ මාර්‍ගය ඒ ඒ ධ්‍යානය සදෘශම වේ ය යි කීහ. ඒ නො යෙදේ.

 

විශේෂ:- පාදකධ්‍යානයක් නැතිව අද්‍ධ්‍යාශ්‍ර‍ය මාත්‍ර‍යකින් ම ඒ ඒ ධ්‍යානය හා සදෘශ භාවය සිද්ධ නො වේ.

 

ඒ මේ කාරණය (පාදකධ්‍යාන - සම්මසිතධ්‍යාන ධ්‍යාතොප නිශ්‍ර‍ය නැති වැ අද්‍ධ්‍යාශය මාත්‍රයෙන් ම සිද්ධ නො වන බව) නන්‍දකොවාද සූත්‍රයෙන් ද දක්වන ලදි. ඒ නන්‍දිකොවාද සූත්‍රයෙහි[789] සෝවාන් මෙහෙණගේ ද පරිපූර්‍ණ සංකල්පනාව වදාරන බුදුහු උපනිශ්‍ර‍ව සම්පත්තිය ඇත්තහු ගේ ම අධ්‍යාශය නියමය වන බව් හා අධ්‍යාශය පමණකින් සිද්ධ නොවන බව වදාළහ.

 

එසේ ම මෙහිදු ද්විතීයදධ්‍යානිකාදි මාර්‍ගයකට උපනිශ්‍ර‍ය ඇත්තහුට ම අධ්‍යාශ නියම වේ. එහෙත් උපනිශ්‍ර‍ය නැතහොත් අධ්‍යාශය මාත්‍ර‍යකින් එලොත්පත්තිය නො වේ. එහෙයින් මේ වාදයෙහි පාදක- සම්මර්‍ශන- ධ්‍යානොපනිශ්‍ර‍ය ඇති කල්හි ම එකාන්තයෙන් සිද්ධවන අධ්‍යාශ නියමය ම කෙරේ යැ යි කියන ලදි.

 

මෙසේ පළමු කොට සංස්කාරෙපෙක්‍ෂා විදර්‍ශනාව බොද්‍ධ්‍යඞ්ග-ධ්‍යානඞ්ගයන් නියම කෙරේ යැ යි දත යුතු.

 

මේ සඞ්ඛාරුපෙක්ඛාව ආදියෙහි පටන් කෙලෙස් විෂ්කම්භනය කරනුයේ දුකින් (සප්‍රයෝගයෙන්) උත්සාහයෙන් විෂ්කම්භනය කිරීමට හැකි වී නම් දුක්ඛාපටිපදා නම. විර්‍ප්‍යාසයෙන් සුඛා පටිපදා වේ.

 

කලේශයන් විෂ්කම්භනය කොට මාර්‍ග ප්‍රාවුර්භාවය සෙමෙන් කරන සංස්කාරොපෙක්‍ෂාව දන්‍ධාභිඤ්ඤා නම. විර්‍ප්‍යාසයෙන් ඛිප්පාභිඤ්ඤා වේ. මෙසේ මේ සඞ්ඛාරුපෙක්ඛාව ආගමනීයස්ථානයෙහි පටන් තමන් තමන් ගේ මාර්‍ගයට නම් දේ. එහෙයින් මාර්‍ගය දුක්ඛාපටිපදා- දන්‍ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා- ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා- දන්‍ධාභිඤ්ඤා, සුඛාපටිපටිපදා-ඛිප්පාභිඤ්ඤා යි සතර නාමයක් ලබ යි. ඒ මේ ප්‍ර‍තිපදාව කිසි භික්‍ෂුවක් හට වෙන් වෙන් වශයෙන් ද වේ. කිසි භික්‍ෂුවක් හට සතර මාර්‍ගයෙහි එකම ප්‍ර‍තිපදාවෙක් වෙයි. බුදුන් ගේ වූ කලී සතර මාර්‍ගය ම (සුඛාපටිපදා) ඛිප්පා - භිඤ්ඤාම වී ධම්ම සේනාපති සාරිපුත්ත ස්ථවිරයන්ට ද එසේ මැ යි. මොග්ගල්ලාන ස්ථවිරයන්ට ප්‍ර‍ථම මාර්‍ගය සුඛාපටිපදා - ඛිප්පාභිඤ්ඤා වී. මතු තුන දුක්ඛාපටිපදා - දන්‍ධාභිඤ්ඤා වී. ප්‍ර‍තිපදාවෙන් අධිපතිහු ද ඇතැම් භික්‍ෂූන්ට සතර මාර්‍ගයෙහි වෙන් වෙන් වශයෙන් වෙති. ඇතැම් භික්‍ෂුවක් හට සතර මාර්‍ගයෙහි ම එකෙක් වේ. මෙසේ සංඛාරුපෙක්ඛා ඤාණය පටිපදා විශේෂය ද නියම කෙරේ. විමොක්‍ෂ විශේෂය නියම කරන අයුරු පෙරැම කියන ලදි.

 

තවද මාර්‍ගය වනාහි ස්වරසයෙන් හෝ, ප්‍ර‍ත්‍යණිකයෙන් හෝ, ස්වගුණයෙන් හෝ, ආලම්බනයෙන් හෝ, ආගමනයෙන් හෝ මෙසේ කරුණු පසකින් නම් ලබයි.

 

ඒ මෙසේයි:- (1) සංඛාරුපෙක්ඛා ඤාණය අනිත්‍ය හෙයින් සංස්කාර සන්මර්‍ශනය කොට නැගේ නම් මාර්‍ගය අනිමිත්ත විමොක්ඛ වේ. දුක්ඛ හෙයින් සංස්කාර සන්මර්‍ශනය කොට නැගේ නම් මාර්‍ගය අප්පණිහිත විමොක්ඛ වේ. අනාත්ම හෙයින් සංස්කාර සන්මර්‍ශනය කොට නැගේ නම් මාර්‍ගය සුඤ්ඤතා විමොක්ඛය වේ.

 

මේ ස්වරසයෙන් ලද නාම යි.

 

(2) මේ මාර්‍ගය අනිච්චානුපස්සනාවෙන් සංස්කාරයන් ගේ ඝන විනිර්භෝග කොට නිත්‍ය නිමිත්ත යැ, ධුව නිමිත්ත යැ, ශාස්වත නිමිත්ත යැ යන මොවුන් දුරු කෙරෙමින් ආ හෙයින් අනිමිත්ත නමි.

 

දුක්ඛානුපස්සනාවෙන් සුඛ සංඥාව හැර (ප්‍ර‍ණිධිය) ප්‍රාර්‍ථනාව වියළවමින් ආ හෙයින් අප්පණිහිත නමි.

 

අනත්තානුපස්සනාවෙන් ආත්මයැ - සත්ත්‍වයැ - පුද්ගලයා යන සංඥා හැර සංස්කාර ශූන්‍යත්‍වයෙන් දක්නා ලද හෙයින් සුඤ්ඤත නමැ යි මේ ප්‍ර‍ත්‍යණික හෙයින් සිද්ධ නාම යි.

 

(3) මේ මාර්‍ගය රාගාදීන් වියුක්ත හෙයින් සුඤ්ඤත නමි. රූප නිමිති ආදීන්ගේ ද, රාග නිමිති ආදීන්ගේ ද, අභාවයෙන් අනිමිත්ත නමි. රාග ප්‍රාර්‍ථනා ආදීන් ගේ අභාවයෙන් අප්පණිහිතය යි මේ මාර්‍ගයට ස්වගුණ හෙයින් නම් වේ.

 

(4) මේ මාර්‍ගය ශූන්‍ය වූ අනිමිත්ත වූ අප්‍ර‍ණිමිත වූ නිර්‍වාණය අරමුණු කරන හෙයින් සුඤ්ඤත යැ, අනිමිත්ත යැ, අප්පණිහිතැ යි කියනු ලැබේ. මේ මාර්‍ගයට ආලම්බන හෙයින් නම් වේ.

 

(5) ආගමනය:- විදර්‍ශනාගමන යැ, මාර්‍ගාගමනයැ යි ද්විවිධ යැ. ඒ දෙකින් මාර්‍ගයෙහි විදර්‍ශනාගමනය ලැබේ. ඵලයෙහි මර්‍ගාගමනය ලැබේ.

 

ඒ මෙසේයි. අනත්තානුපස්සනාව සුඤ්ඤත යැ. ඒ ශූන්‍යතා විදර්‍ශනාව ගේ මාර්‍ගය විදර්‍ශනාගමන වශයෙන් සුඤ්ඤත යැ. අනිච්චානුපස්සනාව අනිමිත්ත යැ. ඒ අනිමිත්ත විදර්‍ශනා මාර්‍ගය අනිමිත්ත නමි.

 

විශේෂ:- මේ අනිමිත්ත නාමය අභිධර්‍ම පර්‍ය්‍යායයෙන් නො ලැබේ. අභිධර්‍මයෙහි ස්වරසය නො ගෙනම ප්‍ර‍ත්‍යණික හෙයින් නාම ලාභය වන හෙයිනි. ස්වගුණාලම්බනයෙන් වන නාම ලාභය ස්වප්‍ර‍ධාන වේ. ස්වරසයෙන් ම නාම ලාභයෙහි සර්‍ව ධර්‍මයන් ගේ ශූන්‍යතාදි භාවය වේ. මාර්‍ග ව්‍යවස්ථානය නො වේ. එහෙයින් අභිධර්‍මයෙහි කාරණ ද්වයයෙකින් අනිමිත්ත නාම ලාභය ඇති හෙයින් ප්‍ර‍ත්‍යණිකයෙන් නාම ව්‍යවස්ථාව ගන්නා ලැබේනුයි තදභාවයෙන් අනිමිත්ත ලාභය නො ලබයි.

 

(මේ පිළිබැඳිවැ පුරාණ සන්නයෙහි විස්තර වේ.)

 

සුත්‍රාන්තදේශනාව පර්යාය දෙශනා හෙයින් සුත්‍රාන්තපර්යායෙන් ස්වගුණ මාත්‍රාලම්බනයෙනුදු නාමය ලැබේ. ඒ සූත්‍රාන්ත පර්‍ය්‍යායයෙහි ගොත්‍ර‍භූ ඤාණය අනිමිත්ත වූ නිර්‍වාණය අරමුණු කොට අනිමිත්ත නම් වැ තෙමේ ආගමන ප්‍ර‍තිපදා ස්ථානයෙහි සිට මාර්‍ගයට නම් දෙතැ යි යෙති. (හෙද පර්‍ය්‍යාය මාත්‍රයෙනි.) ඒ අනිමිත්ත හේතුකොට ගෙන මාර්‍ගය අනිමිත්තය යි කියන ලදි. මාර්‍ගගමනයෙන් ඵලය වනාහි අනිමිත්ත යැ යනු යෙදේ මැ යි.

 

දුක්ඛානුපස්සනාව සංස්කාරයන් විෂයෙහි ප්‍ර‍ණිධිය වියළවා ආ හෙයින් ස්වරසයෙන් අප්‍ර‍ණිහිත නම් වේ. අප්‍ර‍ණිහිත විදර්‍ශනාවෙන් යුක්ත මාර්‍ගය විදර්‍ශනාගමනයෙන් අප්‍ර‍ණිමිත නමි. ඒ අප්‍ර‍ණිහිත මාර්‍ගයේ ඵලය ද අප්‍ර‍ණිහිත නමි. මෙසේ විදර්‍ශනාව තමා ගේ නාමය මාර්‍ගයට දෙයි. මාර්‍ගය ඵයට නාමය දේ. මේ ආගමන හෙයින් නාම ලාභය යි. මෙසේ මේ සංඛාරු පෙක්ඛාව විමොක්‍ෂ විශේෂය නියම කෙරේ.

 

සංඛාරුපෙක්ඛා ඤාණය නිමි.

 

(9) මේ සංඛාරුපෙක්ඛා ඤාණය ඇසිරිකිරීම, වැඩීම බහුලැ ව වැඩීම ඇති යෝගීහට අධිමොක්‍ෂ සංඛ්‍යාත ශ්‍ර‍ද්‍ධාව ආසේවනාදී භාවනා විශේෂයෙන් කෘත්‍ය වශයෙන් අධික හෙයින් අතිශයින් බලවත්වැ උපදී. මොනවට රුකුල් ලත් (ප්‍ර‍තිපක්‍ෂ ක්ලේශයන් මැඩීමට සමර්‍ථ වූ) වීර්‍ය්‍යය ඇති වේ. ආලම්බනාභිමුඛ භාවයෙන් මනාවැ එළඹ සිටි සතිය ඇති වේ. පස්සද්ධි- සුඛයන් ගේ අතිශයවත් භාවයෙන් මනාවැ සමාහිත චිත්තය වේ. අනුලෝමඤාණයාගේ ප්‍ර‍වෘත්තියට ප්‍ර‍ත්‍යය වීමට සමර්‍ථ හෙයින් අතිශයින් තීක්‍ෂණ වූ සංස්කාරෝපේක්‍ෂාව උපදී. ඒ යෝගීහට ‘දැන් දැන් මාර්‍ගය උපදීය යි’ කියයුතු කලැ සංස්කාරෝපේක්‍ෂාව ත්‍රෛභූමක සංස්කාරයන් හි එල්බ අනිත්‍යයැ යි හෝ දුඃඛයැ යි හෝ අනාත්මයැ යි හේ සන්මර්‍ශනය කොට භවාඞ්ගයට බසී. භවාඞ්ගයට අනතුරු වැ සංස්කාරෝපේක්‍ෂාව අනිත්‍යාදි වශයෙන් අරමුණු කළ සේ ම සංස්කාරයන් අනිත්‍යයැ යි හෝ දුඃඛයැ යි හෝ අනාත්මයැ යි හෝ සන්මර්‍ශනය කොට අරමුණු කෙරෙමින් මනොද්වාරාවර්‍ජන සිත උපදී. භවංගය පෙරළා උපන් ඒ ක්‍රියා සිතට අනතුරුවැ අතරක් නැතිවැ චිත්ත සන්තතිය නිරන්තර කොට පවත්වමින් පෙර දේ ම අනිත්‍යාදි විසින් සංස්කාරයන් අරමුණු කොට පරිකර්‍මය යි කියන ලද පළමු වන ජවන් සිත උපදී. එයට අනතුරුවැ අතරක් එසේම සංස්කාරයන් අරමුණු කොට උපචාරයැ යි කියන ලද දෙවන ජවන් සිත උපදී. එයට අනතුරුවැ එසේ සංස්කාරයක් අරමුණු කොට අනුලෝමය යි කියන ලද තුන්වන ජවන් සිත උපදී. මේ ඒ සිත්වලට වෙන වෙන නමි. එහෙත් අවිශේෂයෙන් ත්‍රිවිධ වූ ම මේ ජවන චිත්තය ආසේවනය යි ද, පරිකර්‍මය යි ද, උපචාරය යි ද, අනුලොමයයි ද කියන්නට වටී.

 

ප්‍ර‍ශ්න:- කුමකට අනුලොම් වේ ද

 

පිළිතුර:- පූර්‍වභාග පශ්චිම භාගයන්හි වූ ධර්‍ම කොට්ඨාසයනට අනුලොම් වේ.

 

ඒ මෙසේ යි:- ඒ ජවන චිත්තය ප්‍ර‍ථව වූ උදය - ව්‍යයාදි අටවැදෑරුම් විදර්‍ශනා ඥානයන්ට ලක්‍ෂණ ත්‍ර‍ය සන්මර්‍ශනය කිරීම වූ තථ කෘත්‍යය වන බැවින් අනුලොම් වේ. මත්තෙහි ද සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මයනට තථ කෘත්‍යය සිද්ධ කරන බැවින් අනුලොම් වේ.

 

ඒ ඤාණය අනිත්‍ය ලක්‍ෂණාදි වශයෙන් සංස්කාරයන් ඇරැබැ පවත්නා හෙයින් උදය - ව්‍යය ඥානය උදය ව්‍යයවත් සංස්කාරයන්ගේ ම උත්පාද ව්‍යය දිටී ය යි ද, භඞ්ගානුපස්සනා ඤාණය ඒකාන්තයෙන් භඞ්ගය ඇති ධර්‍මයන් ගේ භඞ්ගය දිටී ය යි ද, ඒකාන්තයෙන් භය සහිත වූයෙහි ම භයතුපට්ඨාන ඤාණයට භය සහිත වැ වැටහිණ යැ යි ද, ආදිනවානුපස්සනාව ආදීනව සහිත වූයෙහි ම ආදීනව දිටී ය යි ද, නිබ්බිදා ඤාණය නිර්‍වෙද කටයුත්තෙහි ම නිර්‍වක්න වීය යි ද, මුඤ්චිතුකම්‍යතා ඤාණය මිදිය යුත්තෙහි ම මිදෙනු කැමැති වීය යි ද, පටිසංඛා ඤාණයෙන් අනිත්‍යාදි විසින් පටිසඞ්ඛා (නුවණින් සැලකීම) කරන ලදැයි ද, සංඛාරුපෙක්ඛා ඤාණයෙන් උපෙක්‍ෂා කටයුත්තෙහි ම උපේක්‍ෂිතයි යි ද, අර්‍ථ හෙයින් කියන්නාක් මෙන් මේ අට වැදෑරුම් ඤාණයෙන් ගේ තථ කෘත්‍යය ඇති බැවින් මතු මාර්ගයෙහි ද සත්තිස් බෝධිපාක්‍ෂිකධර්‍මයනට ඒ සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් පැමිණිය යුතු බැවින් අනුලොම් වෙයි.

 

නිදර්‍ශනයෙකි:- දැහැමි රජෙක් විනිශ්චයාසනයෙහි හුන්නේ ව්‍යවහාරික (අධිකරණ) ඇමතියා ගේ විනිශ්චය අසා අගතිගමනයට නො ගොස් මැදහත් වැ එසේ වේවා යි අනුමෝදන් වනුයේ ඒ විනිශ්චයට ද පුරාතන රාජධර්‍මයට ද අනුලොම් වෙයි.

 

උපමාන උපමෙය සංසන්‍දනය:- අනුලොම ඤාණය රජු මෙන් ද, අටවැදෑරුම් ඤාණයෝ අධිකරණ ඇමැතියන් මෙන් ද, සත්තිස්බෝධිපාක්‍ෂික ධර්‍මයෝ පෞරාණික රාජ ධර්‍මයන් මෙන් ද, දත යුතු වෙති. එසේ වේවා! යි කියනුයේ ව්‍යවහාරික අමාත්‍යයන්ට ද, විනිශ්චයට ද, රාජ ධර්‍මයට ද අනුලොම් වන්නාක් මෙන් අනිත්‍යාදි වශයෙන් සංස්කාරයන් අරැබ උපන්නා වූ අට නුවණට ද, තථ කෘත්‍ය කරන  බැවින් අනුලොම් වෙයි. මතුයෙහි ද සත්තිස් බෝධිපාක්‍ෂිකධර්‍මයනට අනුලොම් වේ. එහෙයින් සච්චානුලොමික ඤාණය යි කියනු ලැබේ. (ටීකාහි ද විශෙෂ විස්තරයෙකි.)

 

අනුලෝම ඤාණය නිමි.

 

 

අනුලොම ඤාණය දක්වා එයට අනුවර්‍තක වූ ව්‍යුත්‍ථානගාමිණී විදර්‍ශනාව දක්වනුවෝ, මේ අනුලෝමඤාණය සංස්කාරාලම්බනික වූ ව්‍යුත්‍ථාන ගාමිණී විදර්‍ශනාවේ කෙරළවර වේ. සර්‍වප්‍ර‍කාරයෙන් වනාහි ගෝත්‍ර‍භූ ඥානය ව්‍යුත්‍ථානගාමිණී විදර්‍ශනාවේ පර්‍යවසානය යි දැන් පිණිස මේ සූත්‍ර‍ සංසන්‍දනය දතයුතු.

 

ඒ මෙසේයි:- සළායතන විභඞ්ග සූත්‍රයෙහි;

 

අතම්මයතං භික්ඛවෙ නිස්සාය අතම්මයතං ආගම්ම යායං උපෙක්ඛා එකත්තා එකත්තසීතා තං පජහථ තං සමතික්කමථාති”[790] මහණෙනි, අතම්මයතාව (ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාව) නිශ්‍ර‍ය කොට අතම්මයතාවට පැමිණි යම් උපෙක්‍ෂාවක් එකස්වභාවයක් ඇති ද, එක් අරමුණක් ඇති බව ඇසුරු කොට පවතී ද ඒ උපෙක්‍ෂාව තදාලම්බන ක්ලේශ ප්‍ර‍හාණයෙන් දුරු කරව්, ඒ ඉක්මවව්, මෙහි ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාව අතම්මයතාය යි වදාරන ලදි.

 

අලගද්ද සූත්‍රයෙහි “නිබ්බින්‍දං විරජ්ජති විරාගා විමුච්චතීති”[791] සසර කළකිරුණේ නො ඇලේ. නො ඇල්මෙන් මිදේ මෙසේ ව්‍යුත්‍ථාගාමිනී විදර්‍ශනාව නිබ්බිදාය යි වදාරන ලදී.

 

සුසීම සූත්‍රයෙහි “පුබ්බෙ ඛො සුසීම ධම්මට්ඨීතීඤාණං පච්ඡා නිබ්බානෙඤාණං”[792] ‘සුසීමය! පූර්‍වයෙහි ධම්මඨීතියෙහි (පටිච්චසමුප්පාදයෙහි) නුමුළා බව වේ. පසු වැ මාර්‍ගඥානය වේ.’ මෙසේ ධම්මඨිතිඥානය යි වදාරන ලදී.

 

පොට්ඨපාද සූත්‍රයෙහි “සඤ්ඤා ඛො පොට්ඨපාද පඨමං උප්පජ්ජති පච්ඡාඤාණං”[793] ‘පොට්ඨපාදය! සඤ්ඤාව (ව්‍යුත්‍ථාන ගාමිනී විදර්‍ශනාව) පළමු වැ උපදී. පසු වැ මාර්‍ග ඥානය උපදී.’ මෙහි සඤ්ඤග්ගය යි වදාරන ලදි.

 

දසුත්තර සූත්‍රයෙහි “පටිපදාඤාණදස්සනවිසුද්‍ධි පාරිසුද්‍ධි පධානියඞ්ගං”[794] ‘පටිපදාඤාණදස්සන විසුද්‍ධිය පාරිසුද්‍ධි පධානියඞ්ගය’ යි මෙසේ ව්‍යුත්‍ථානගාමිනී විදර්‍ශනාව පාරිසුද්ධිපධානියඞ්ගය යි වදාරන ලදි.

 

පටිසම්භිදාමාර්ගයෙහි “යා ච මුඤ්චිතුකම්‍යතා යා ච පටිසංඛානුපස්සනා යා ච සංඛාරුපෙක්ඛා ඉමෙ ධම්මා එකට්ඨා ව්‍යඤ්ජමෙව නානා”[795] ‘මුඤ්චිතුකම්‍යතා ඤාණය ද, පටිසංඛානුපස්සනා ඤාණය ද, සංඛාරුපෙක්ඛා ඤාණය ද යන මේ ධර්‍මයෝ ඒකාර්‍ථයහ. ව්‍යඤ්ජකය ම වෙනසි යි’ මෙසේ ව්‍යුත්‍ථාන ගාමිනී විදර්‍ශනාව මේ නාම තුනින් වදාරන ලදි.

 

පට්ඨානයෙහි “අනුලොමං ගොත්‍ර‍භුස්ස අනුලොමං වොදානස්ස”[796] ‘අනුලොම චිත්තය ගොත්‍ර‍භූ චිත්තයට ද, අනුලොමය වෝදානයට ද ප්‍ර‍ත්‍යය වේ යයි’ මෙහි අනුලොම- ගොත්‍ර‍භු- වොදාන යන නම් තුනෙක් වදාරන ලදි.

 

රථවිනීත සූත්‍රයෙහි:- කිං පනාවුසො පටිපදාඤාණ දස්සනවිසුද්‍ධත්‍ථං භගවති බ්‍ර‍හ්මචරියං වුස්සති”[797] ‘ඇවැත්නි! ප්‍ර‍තිපදාඥානදර්‍ශන විශුද්ධිය සඳහා භගවත්හු කෙරෙහි බඹසර වෙසේ දැ’යි මෙහි වුට්ඨානගාමිනී විදර්‍ශනාව ප්‍ර‍තිපදාඥානදර්‍ශන විශුද්ධිය යි වදාරන ලදි.

 

මෙසේ අතම්මයතාදි නො එක් නමින් මහාර්ෂි වූ සම්‍යක් සම්බුද්‍ධයෝ ශාන්ත වූ පිරිසිදු වූ ව්‍යුත්‍ථානගාමිනීවිදර්‍ශනාව වදාළහ. එහෙයින් මහත් භය ඇති සසර දුක් මඩින් නැගෙනු කැමැති උපන් පඩි  බව ඇත්තේ එහි නිතර යෝග කරන්නේ යි.

 

 

මෙසේ සාධුජනයා ගේ ප්‍රමෝදය පිණිස කළ විශුද්‍ධි මාර්‍ගයෙහි

ප්‍ර‍ඥා භාවනාධිකාරයෙහි ප්‍ර‍තිපදාඥාන දර්‍ශනවිසුද්‍ධි නම් වූ

එක් විසිවන පරිච්ඡේදය නිමියේ යි.

 


22 වන පරිච්ඡේදය

ඥානදර්‍ශනවිශුද්ධි නිර්දේශය

 

මේ අනුලෝමඤාණයෙන් මතුයෙහි වූ ගෝත්‍ර‍භූඤාණය වේ. එය මාර්‍ගය ආවර්‍ජනා කරන ස්ථානයෙහි වූ හෙයින් ප්‍ර‍තිපදාඥාන දර්‍ශනවිශුද්ධිය, ඥානදර්‍ශනවිශුද්‍ධිය ද නො බෙජේ.

 

(එහෙයින්ම එය විඤ්ඤාණ ධාතුන්ට විෂය දක්වන (දර්‍ශනාදිකෘත්‍යය කරන) ක්‍රියාමනෝධාතුව මෙන් මාර්‍ගයට ආවර්‍ජන ස්ථානීය යි කියන ලදි. (සන්‍ය යි.)

 

සවන සත්වන විශුද්ධීන්ගේ මධ්‍යයෙහි අබ්බොහාරික ම වේ. (උභය විශුද්‍ධි ලක්‍ෂණ නැති හෙයිනි.)

 

එහෙත් වුට්ඨානගාමිනී විදර්‍ශනාව ගේ අවසානය වූ විදර්‍ශනාශ්‍රොතස් හි පතිත වූ හෙයින් විදර්‍ශනායැ යි ගණයට යේ.

 

ශ්‍රෝතාපත්තිමාර්ගය, ශකෘදාගාමිමාර්ගය, අනාගාමි මාර්ගය, අර්‍භහත් මාර්ගය යන මේ සතර මාර්‍ගයෙහි ඥානය ඤාණදස්සන විසුද්‍ධි නම් වේ.

 

විස්තර:- ඔවුනතුරින් ප්‍ර‍ථම මාර්ගඤාණය සම්පාදනය කරනු කැමැති යෝගීහු විසින් කළමනා අන්කිසිවෙක් නැති. හුදෙක් ඔහු විසින් කළමනා දෑ අනුලෝමය අවසන් කොට ඇති විදර්‍ශනා උපදවන්නේ කෙළේම වේ. මෙසේ උපන් අනුලෝම ඥානය ඇති ඒ යෝගීහු ගේ පරිකර්‍ම, උපචාර, අනුලෝම යන අනුලෝමඤාණ තුනින් තමා බලයට සුදුසු සේ මහත් මහත් සත්‍යය වසා සිටි මෝහාන්‍ධකාරය අන්තර්ධාන කළ කල්හි සියලු සංස්කාර ගතයෙහි සිත නො යව යි. සියලු සංස්කාරයෙහි සිත නො සිටී, නො ඇලේ, නො රැඳේ, නො ලැගේ, නො බැඳේ, නෙළුම් පතැ හුණු දියත්තක් මෙන් හැකිලේ. පැකිලේ, පෙරැලේ, සියලු සංස්කාර නිමිත්තාලම්බනයෝ ද සියලු විපාක ප්‍ර‍වෘත්ති ආලම්බනයෝ ද පළිබෝධ හෙයින් වැටහෙත්. ඒ යෝගීහට ඒ සියලු නිමිත්තාරම්මණයන් හා පවත්තාරම්මණයන් හා  පළිබෝධ හෙයින් වැටහුණු කල්හි අනුලෝමඤාණය ආසෙවන විසින් උපන් අනතුරුවැ අනිමිත්ත වූ (සංස්කාර නිමිති නැති) සංස්කාර ප්‍ර‍වෘත්ති නැති, සංස්කාරයන් වියුක්ත වූ, සංස්කාර විරෝධ වූ නිරෝධ වූ නිවන අරමුණු කෙරෙමින්, පෘථග්ජන ගෝත්‍ර‍ය,  පෘථග්ජන සංඛ්‍යාව පෘථග්ජන භූමිය ඉක්මවන්නා වූ, ආර්‍ය්‍ය ගෝත්‍ර‍යට, ආර්‍ය්‍ය සංඛ්‍යාවට, ආර්‍ය්‍ය භූමියට පමුණුවන නිර්‍වාණලම්බනයෙහි ප්‍ර‍ථමාජිනය වූ ප්‍ර‍ථමාභෝගය වූ, ප්‍ර‍ථම සමන්නාහාරය වූ මාර්ගයට අනන්තර- සමනන්තර- ආසෙවන- උපනිස්සය- නත්‍ථි- විගත යන සයාකාරයෙන් ප්‍ර‍ත්‍යය බව සිද්ධ කෙරෙමින් සිඛාප්‍රාප්ත වූ (විදර්‍ශනාව ගේ මස්තකය වූ) පෙරලා නො එන (එක් වරක් ම උපදනා) ගොත්‍ර‍භූ (චිත්තය) ඥානය උපදී.

 

එයින් කීහ:- කථං බහිද්ධා වුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා ගොත්‍ර‍භූ ඤාණං? උප්පාදං- අභිභුය්‍යතීති ගොත්‍ර‍භූ. පවත්තං උපායාසං අභිභුය්‍යතීති ගොත්‍ර‍භූ බහිද්‍ධා සංඛාර නිමිත්තං අභිභ්‍යයතීති ගොත්‍ර‍භූ, අනුප්පාදං පක්ඛන්‍දතීති ගොත්‍ර‍භූ, අප්පවත්තං -පෙ- අනුපායාසං නිරොධ නිබ්බාණං පක්ඛන්‍දතීති ගොත්‍ර‍භූ. උප්පාදං අභිභූයිත්‍ථා අනුප්පාදං පක්ඛන්‍දතීති ගොත්‍ර‍භූ[798]

 

‘අසංඛත ධාතුවෙන් පිටත්හි සංස්කාරයෙන් වුට්ඨානය වූ විවට්ටනයෙහි (නිපදවන්නහු ගේ) ප්‍ර‍ඥාව කෙසේ ගෝත්‍ර‍භූ ඤාණය වේ දැ

 

උත්පාදය මඩිනු යි ගෝත්‍ර‍භූ නමි. ප්‍ර‍වෘත්තිය - දැඩි ආයාසය මඩිනු යි ගොත්‍ර‍භූ නමි. අසංඛත ධාතුවෙන් පිටත සංස්කාර නිමිති මඩීනුයි ද, අනුත්පාද (නිර්‍වාණ) යට වදීනුයි ද ගෝත්‍ර‍භූ නමි. සංස්කාරයන් ගේ නො  පැවැත්ම- උපයාස නැති සංස්කාර නිරෝධය වූ නිර්‍වාණයට වදීනු යි ගෝත්‍ර‍භූ නමි.’ (සියල්ල විස්තර කළ යුතු යි.)

 

ඒ පාඨයෙහි එක ආවර්‍ජනයෙක් එක් ජවන වීථියෙහි පවත්නා අනුලෝම - ගෝත්‍ර‍භූ ඤාණයන් ගේ නන් අරමුණෙහි පවත්නා ආකාර දැක්වීමෙහි මේ උපමාවෙකි.

 

‘මහ ඇළක් පැන එතෙර පිහිටනු කැමැති පුරුෂයෙක් වහා දිව ඇළ මෙතෙර සිට වෘක්‍ෂ ශාඛයෙහි බැඳි එල්බෙන රැහැනක් හෝ යටක් ගෙන උඩින් පැන පර තීරයට නිම්න- ප්‍ර‍වණ- ප්‍රාග්භාර වූ කය ඇති වැ පර තීරයේ මතු භාගයට පැමිණ ඒ රැහැන හෝ යට හෝ හැරපියා වෙවුලමින් පරතෙර පතිතවැ සෙමෙන් පිහිට යි.

 

මෙසේ මේ යෝගාවචරතෙමේත් භව- යොනි- ගති- ස්ථිති- නිවාසයන්ගේ පරතෙර වූ නිවණෙහි පිහිටනු කැමැත්තේ උදයව්‍යායනුදර්‍ශනාදි වේගයෙන් දිවැ ආත්මභාව නමැති වෘක්‍ෂ ශාඛායෙහි ල්වන ලද රූප නමැති රැහැන හෝ දණ්ඩක් හෝ වේදනාදීන් අතුරින් එක් වේදනාදි නැමැති දණ්ඩක් හෝ අනිත්‍යයැ යි හෝ දුක් යැ යි හෝ අනාත්මයැ යි හෝ අනුලොම ආවර්‍ජනයෙන් ගෙන ඒ නො හැරැම ප්‍ර‍ථම අනුලෝම චිත්තයෙන් උඩ නැගී දෙවෙනි අනුලෝම චිත්තයෙන් පරතීරයට නිම්න- ප්‍ර‍වණ- ප්‍රාග්භාර සිත් ඇතිවැ තුන්වන අනුලෝම චිත්තයෙන් පර තීරයේ මතුභාගයට පැමිණියාක් මෙන් දැන් පැමිණිය යුතු නිවනට ආසන්නව ඒ තුන්වන අනුලොම චිත්ත නිරෝධයෙන් ඒ සංස්කාරලම්බනය හැරැපියා ගෝත්‍ර‍භූ සිතින් විසංඛාර වූ, පරතීර වූ නිර්‍වාණයෙහි පතිත වේ. එක් වරක් ම ලද අරමුණෙහි ආසේවන නො ළද බැවින් වෙවුලන ඒ පුරුෂයා සේ පළමු කොට සුප්‍ර‍තිෂඨිත නො වේ. ඉක්බිති මගනුවණින් පිහිටන්නේ වේ.

 

විශේෂ:- මෙහි අනුලෝමඤාණය සත්‍යය මුවහ කරන කෙලෙස් අඳුර දුරු කරන්නට පොහොසත් වේ. නිර්‍වාණය අරමුණු කිරීමට නො පොහොසති. ගෝත්‍ර‍භූඤාණය නිර්‍වාණය අරමුණු කිරීමට පොහොසති. සත්‍යය මුවහ කරන තමස දුරු කරන්නට නො පොහොසති.

 

මේ එහිලා උපමාවෙකි:- එක් ඇස් ඇති පුරුෂයෙක් තක්‍ෂත්‍ර‍ හා චන්‍ද්‍ර‍යා ගේ යෝගයන් දැනගනිමි යි රාත්‍රි භාගයෙහි නික්ම සඳ දක්නා පිණිස උඩ බැලී. ඕහට වලායේන් වැසුණු හෙයින් සඳ නො පැණිනි. එවේලෙහි එක් වාතයෙන් නැග ඝන-ඝන වලාපටලයක් පහ කළේ ය. අනෙක් වාතයෙන් නැගී මධ්‍යම වලා පටලයක් පහකළේ ය. අනේක වාතයේක නැඟී සියුම් වලාහකයනුදු පහ කෙළේය. ඉක්බිති ඒ පුරුෂයා පහ වූ වලා ඇති අහසෙහි සඳ දැක නක්‍ෂත්‍ර‍ යෝගය දකී.

 

එහි තුන් වලාහකයක් මෙන් සත්‍යය මුවා කරන ස්ථුල මධ්‍යම සූක්‍ෂම-ක්ලේශාන්‍ධකාරය දත යුතු. තුන් වාතයක් මෙන් තුන් අනුලොම චිත්තයෝ ද, ඇස් ඇති පුරුෂයා සේ ගෝත්‍ර‍භූ ඤාණය, සඳ මෙන් නිවණ, එකී එකී වාතයෙන් යථා ක්‍ර‍මයෙන් වලාහක විධමනය මෙන් එකි - එකී අනුලොම චිත්තයා ගේ සත්‍යය ප්‍ර‍තිච්ඡාදක ක්ලේශාන්‍ධකාරය දුරු කිරීම ද, වලා පහ වූ අහසෙහි ඒ පුරුෂයා ගේ පිරිසිදු සඳ දැකීම මෙන් සත්‍යය ප්‍ර‍තිච්ඡාදක මෝහාන්‍ධකාරය නැසුණු කල ගොත්‍ර‍භූ ඤාණයා ගේ (විශුද්ධ) නිර්වාණ දර්‍ශනය ද දතයුතු.

 

විශේෂ:- තුන් වාතය සඳ මුවහ කොට සිටි වලාපටලයන් නැසීමට ම සමර්‍ථ වනු විනා සඳ දක්නට නො පොහොසත්වන්නා සේ තුන් අනුලොමඤාණයේ සත්‍යය වැසූ මොහාන්‍ධකාරය ම දුරු කිරීමට සමර්‍ථ වෙති. නිවන් දක්නට අසමර්‍ථ වෙත්. ඒ පුරුෂයා සඳ දැකීමට සමර්‍ථ වනු විනා වලා නැසීමට නො පොහොසත් වන්නා සේ ගෝත්‍ර‍භූඥානය නිවන් දක්නට පොහොසත් වේ. කෙලෙස් අඳුර නැසීමට සමර්‍ථ නො වේ. එහෙයින් මේ ගොත්‍ර‍භූ ඥානය මාර්‍ගයට ආවර්‍ජනය යි කියනු ලැබේ.

 

ඒ වූකලි ආවර්‍ජන නුවූයේ ම ආවර්‍ජන ස්ථානයෙහි සිට ‘මෙසේ උපදුව’ යි මාර්‍ගයට සංඥා දෙන්නක්හු මෙන් නිරුද්ධ වේ. මාර්‍ගය ද ඒ ගෝත්‍ර‍භූ චිත්තය විසින් දුන් සංඥාව නො හැරැම අතුරක් නැති ප්‍ර‍බන්‍ධ වශයෙන් ඒ ගෝත්‍ර‍භූ ඥානය ලුහු බදිනු ලබන්නේ නො විදිවිරු නො පැළුවිරු ලොභස්කන්‍ධය ද ද්වේෂ ස්කන්‍ධය ද, මොහස්කන්‍ධය ද, විඳිමින් - පලමින් උපදනේ වේ.

 

එහි මේ උපමා යි:- එක් දුනුවායෙක් අට ඉස්බක් පමණ දුර සිට පුවරු සියයක් (100) තබවා වස්ත්‍ර‍යකින් මුහුණ වසා බැඳ හීයක් හයා චක්‍ර‍ යන්ත්‍රයෙහි සිටියේ ය. අන් පුරුෂයෙක් චක්‍ර‍යන්ත්‍ර‍ව බවමා යම් වේලෙකැ දුනුවායාට පුවරු සියය අභිමුඛ වේ නම් එකලැ ඒ වක්‍රයෙහි දණ්ඩකින් සලකුණු දෙයි. දුනුවාය දඬුවෙන් කළ සලකුණු නො හැරැ හීය හැරැපියා පුවරු සියය විදී.

 

උපමාන - උපමේය සංසන්‍දනය මෙසේ යි:- එහි දඬු සලකුණ මෙන් ගොත්‍ර‍භූ ඥානය ද, දුනුවායා මෙන් මාර්‍ග ඥානය ද, දුනු වායාගේ දුනු දඬුවෙන් කළ සංඥාව නො හැරැ පුවරු සියය (100) විදීම මෙන් මාර්ගඥානයට ගෝත්‍ර‍භූ ඥානයෙන් දෙන ලද සංඥාව නො හැර නිවන් අරමුණු කොට පෙර නො විදී. පෙර නො පැළු ලෝභ- ද්වේෂ- මෝහ ස්කන්‍ධයන් පැළීම ද දතයුතු. හුදෙක් මේ මාර්ගය ලෝභස්කන්‍ධාදිය නිර්වේධය (පැළීම) මැ නො කෙරේ. මුල් නැති සසරවට දුක්මුහුද වියළ යි. සියලු අපාය දොර වස යි. සප්ත ආර්‍ය්‍ය ධනයට අභිමුඛ කෙරෙ යි. (අෂ්ඨඞ්ගික) මිථ්‍යාමාර්‍ගය හරි යි. සියලු (කෙලෙස්) සතුරු බිය සංසිඳුව යි. සම්‍යක් සම්බුද්ධයන් ගේ ඖරස පුත්‍ර‍බවට පමුණුව යි.

 

අනෙක් නොයේක සිය ගණන් ආනිසංසයන් ගේ ප්‍ර‍තිලාභය පිණිස වේ. මෙසේ අනේක ආනිසංස දායක වූ සෝවාන් මඟ හා සැපියුතු නුවණ සෝතාපත්තිමග්ගඤාණ නම් වේ.

 

ප්‍ර‍ථම මාර්ගඥානය නිමි.

 

විශේෂ:- මේ මාර්‍ග ඥානයට අනතුරුවැ එම මාර්‍ගඥානයා ගේ විපාක වූ ඵලසිත් දෙක තුනෙක් උපදී. තවද සතර ලෝකෝත්තර කුශල (මාර්‍ග) යන් අනතුරු විපාක ඇති හෙයින් ම “සමාධිමානන්තරිකඤ්ඤමාහු[799] මාර්ගය තමා ගේ පැවැත්මට අනතුරුවැ ම ඵල උපදවන හෙයින් ආනන්තරික සමාධිය යි කීහු’ යනු ද,

 

දන්‍ධං ආනනතරිකං - පාපුණාති ආසවනාං ඛයාය” ‘ආශ්‍ර‍වයන් ගේ ක්‍ෂය පිණිස ලස්වැ අනතුරු ඵල දෙන මගට පැමිණේ’ යනු ද එයින් කියන ලදී.

 

මතභේද:- ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් ‘මාර්ගඥානයට අනතුරුවැ ඵල සිත් එකෙක් - දෙකෙක් - සතරෙක් හෝ උපදීය යි කියති. ඒ නො ගත යුතු යි. අනුලෝමයා ගේ ආසේවනයෙන් කෙළවරැ ගෝත්‍ර‍භූ ඤාණය උපදී. එහෙයින් යටත් පිරිසෙයින් අනුලෝම සිත් දෙකක් විය යුතු ය. එකක් ආසේවනය ප්‍ර‍ත්‍යය නො ලබන හෙයිනි. ඒකාවර්‍ජනවීථි තොමෝ ජවන සිත් සතක් පරම කොට ඇත්තී ය.

 

මෙහි අභිප්‍රාය:- එක් අනුලොම සිතක් වුවහොත් ආසේවන ප්‍ර‍ත්‍යය නො ලබන හෙයින් එක් අනුලෝමයක් නො වේ. යටත්පිරිසෙයින් අනුලෝම සිත් දෙකක් වත් විය යුතු හෙයින් තුන්වැනුවැ ගෝත්‍ර‍භූ වේ. සතරවනුව මාර්ග වේ. එසේ වන්නා තව සිත් තුනකට ආයු ඇති හෙයින් ඵල සිත් තුනක් පමණක් උපදී, (සතරෙක් නූපදී ආයු නැති හෙයිනි) යමෙකුට අනුලෝම සිත් තුනක් වී නම් ඔහුට සතරවනුව ගෝත්‍ර‍භූ සිත ද, පස්වනුවැ මාර්ග සිත ද වේ. ඵලසිත් දෙකෙක් වේ. ඵලසිත් දෙකෙක් හෝ තුනෙක් වේ යයි කීයේ එහෙයිනි.

 

තවද මතාන්තරයෙකි:- යමකුට අනුලෝම සිත් සතරෙක් වේ නම් ඔහුට පස්වනුවැ ගෝත්‍ර‍භූ සිත ද, ‘සවැනුවැ මාර්ග සිතද’ වේ. එක් ඵල සිතෙක් වේය යි කියති. එය සාර විසින් නො ගත යුතු යි.

 

(අර්‍ථණා වීථියෙහි සතර වනුවැ හෝ පස් වනුවැ හෝ අර්‍පනා වේ. ඉන් ඔබ්බෙහි නො වේ. ‘භවාඞ්ගයට ආසන්න හෙයිනැ’ යි කී හෙයිනි. ඵල සිත් දෙකක් ඉපදීමට අවකාශ තිබිය යුතු හෙයින් අනුලෝම සිත් තුනකට වඩා නූපදී.) මෙතෙකින් ශ්‍රෝතාපන්ති ඵලස්ථවුයේ දෙවන ආර්‍ය්‍යපුද්ගලයා වෙයි. දිව්‍ය - රාජ්‍ය - චක්‍ර‍වර්‍තතිරාජ්‍යාදිය ලැබීමෙන් ඉතා ප්‍ර‍මාදවූයේ නමුදු සත් වරක් දෙවියන් අතරැ ද, මනුෂ්‍යයන් අතරැ ද දිවැ ඇවිද දුක් කෙළවර කිරීමට සමර්‍ථ වේ.

 

ඵලචිත්තාවසානයෙහි ඒ ආර්‍ය්‍යයා ගේ සිත භවාඞ්ග වේ. ඉක්බිති භවාඞ්ගය සිඳී මාර්ගප්‍ර‍ත්‍යවේක්‍ෂා පිණිස මනෝද්වාරාවර්‍ජන සිත උපදී. එය නිරුද්ධ වූ කලැ පිළිවෙලින් මාර්ග ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන ජවන් සතෙක් උපදී. නැවැතැ භවාඞ්ග වේ. පෙර සේ ම නැවැතත් ඵල ප්‍ර‍ත්‍යවේක්‍ෂා ජවන් සතක් දැ යි මෙසේ මාර්ගය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. ඵලය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. ප්‍ර‍හීණ කෙලෙස් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. අවශේෂ කෙලෙස් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. නිවන ද ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ.

 

විස්තර:- ඒ සෝවාන්තෙමේ ‘මම මේ මගින් ඒකාන්තයෙන් ආමි යි’ මාර්ගය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. අනතුරු වැ ‘මා විසින් මේ අනුසස් ලබන ලදැ යි’ ඵලය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. අනතුරුවැ ‘මාගේ මෙනම් කෙලේ පහවීය යි’ පහ වූ කෙලෙස් ප්‍ර‍‍්‍යවේක්‍ෂා කෙරේ. ඉක්බිති ‘මේ කෙලෙස් ඉතිරිවීය යි’ මේ ධර්‍මය ආලම්බන කිරීමෙන් ප්‍ර‍තිවේධ කරන ලදැයි ‘අමෘත වූ නිර්‍වාණය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. මෙසේ සෝවාන් ආර්‍ය්‍යායාහට ප්‍ර‍ත්‍යවේක්‍ෂා පසෙක් වේ. සෝවාන් වූවහට මෙන් සකෘදාගාමි - අනාගාමීන්ට ද ප්‍ර‍ත්‍යවේක්‍ෂා පස - පස වේ. රහත්හට වනාහි අවශිෂ්ට ක්ලේශයන් ගේ ප්‍ර‍ත්‍යවේක්‍ෂාවෙක් නැති. මෙසේ එකුන්විසි (19) ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙනෙක් වෙති.

 

මේ උත්කෘෂ්ට පරිච්ඡේදයෙනි.

 

විශේෂ:- ප්‍ර‍හීණ - අවශිෂ්ට ක්ලේශ ප්‍ර‍ත්‍යවේක්‍ෂණය ශෛක්‍ෂයන්ට වන්නේත් වෙයි නොවෙන්නේත් වෙයි.

 

ඒ එසේමැයි:- ඒ අභාවයෙන් ම මහානාම ශාක්‍යතෙමේ සමහර කලෙකැ ම සිත ලෝභ ධර්‍මයන් වැළඳ ගෙන සිටිනා බැවින් භාග්‍යවතුන් වහන්සේ! කවර ධර්‍මයෙක් මාගේ සන්තාන යෙහි අප්‍ර‍හීණදැ යි” බුදුන් වෙතින් විචාළේ යි. මෙසේ මෙහිලා සියලු සූත්‍ර‍ය[800] විස්තර හෙයින් දතයුතු.

 

මෙසේ පස්විකා සෝවාන් ආර්‍ය්‍ය තෙමේ ඒ ආසන්නයේ ම හිඳ හෝ අන් කලෙක හෝ කාමරාග - ව්‍යාපාද තුනී කිරීමෙන් දෙවෙනි ශ්‍රාමණ්‍යඵල ප්‍ර‍තිලාභය පිණිස යෝග කෙරේ. ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ශ්‍ර‍ද්ධාදි පඤ්චෙන්‍ද්‍රියයන්, ශ්‍ර‍ද්ධාදි බලයන් ද, ස්මෘත්‍යාදී බෝධ්‍යඞ්ගයන් ද රැස්කොට රූප වේදනා - සංඥා - සංස්කාර - විඥානයැ යන භේද ඇති සංස්කාරගතය අනිත්‍ය ය, දුඃඛ යැ, අනාත්මයැ යි නුවණින් පරිමාර්දනය කෙරේ. නැවැතැ-නැවත පරිවර්‍තනය කෙරේ. උදය - ව්‍යයානු - දර්‍ශනයෙහි පටන් විදර්‍ශනා වීථියට බසී. මෙසේ පිළිපන් ඔහුට පෙරැ උදය - ව්‍යය ඥානාදිය උපන් සේ කී නයින් ම සංස්කාරෝපේක්‍ෂාව ගේ අවසානයෙහි එක් ආවර්‍ජනයෙන් අනුලෝම - ගොත්‍ර‍භූ ඤාණයන් උපන් කලැ ගෝත්‍ර‍භූ ඤාණයට අනතුරුවැ ශකෘදාගාමි මාර්ගය උපදී. ඒ ශකෘදාගාමි මාර්‍ග සමප්‍ර‍යුක්ත ඥානය සකෘදාගාමිමග්ග ඤාණ නම් වේ.

 

ද්‍විතීය මාර්ගඥානය නිමි.

 

මේ දෙවෙනි මාර්ගඥානයට අනතුරුව යට කී සේ ඵල සිත් දත යුතු යි. මෙතෙකිනුදු මේ තෙමේ ශකෘදාගාමි නම් සිවුවැනි ආර්‍ය්‍ය පුද්ගලයා වේ එක් වඑක් මේ ලෝකයට අවුත් දුක් කෙළවර කිරීමට සමර්‍ථ වූයේ වෙයි.

 

ශකෘදාගාමී ආර්‍ය්‍යයෝ පස් දෙනෙකි.

 

(1) මේ ලොව ශකෘදාගාමී ඵලයට පැමිණ මෙහිදීම රහත්වැ පිරිනිවෙන්නා යැ.

(2) මෙලොවැ ශකෘදාගාමීවැ දෙව් ලොවදී පිරිනිවෙන්නා යැ.

(3) දෙව්ලොවදී ශකෘදාගාමිවැ දෙව් ලොව ම පිරිනිවෙන්නා යැ.

(4) දෙව් ලොවදී ශකෘදාගාමීවැ මෙලොව පැමිණ පිරිනිවෙන්නා යැ.

(5) මෙහිදී ශකෘදාගාමීවැ දෙව්ලෝ ඉපිද ආයු ඇතිතාක් සිට නැවැතැ මේ මිනිස් ලොවැ ඉපිද පිරිනිවෙන්නා යැ කියා යි. මේ පස් වැනි ආර්‍ය්‍යයා, මෙහි එක් වරක් මේ ලොවට එන්නා යන්නෙන් ගැනේ.

 

ඵල සිතට අනතුරුවැ මග - පල - පැහුණු කෙලේස - සෙසු කෙලෙස් - නිවන් ප්‍ර‍ත්‍යවේක්‍ෂණ කරන සිත් උපදී.

 

ඒ ශකෘදාගාමී ඵලස්ථ ආර්‍ය්‍යතෙමේ ඒ ආසනයේ ම හිඳ හෝ, එයට පසුවැ හෝ, කාමරාග - ව්‍යාපාදයන් නිරවශේෂ ප්‍ර‍හාණයෙන් තෘතීය භූමිය වූ අනාගාමි මාර්‍ගයට පැමිණීම පිණිස (විදර්‍ශනා) යෝග කර යි.

 

ඒ ආර්‍ය්‍ය තෙමේ ඉන්‍ද්‍රිය - බල - බොජ්ඣඞ්ගයන් ඒකාග්‍ර‍තායෙන් එක්රැස් කොට ඒ සංස්කාර ජාතය, අනිත්‍යයැ, දුඃඛ යැ, අනාත්ම යැ යි විදර්‍ශනා ඥානයෙන් පිරිමදී. පරිවර්‍තනය කෙරේ විදර්‍ශනා වීථියට බසී.

 

මෙසේ පිළිපන් ඒ යෝගීහට යට කී සේ ම සඞ්ඛාරුපෙක්ඛා ඤාණයා ගේ අවසන්හි එක් මනොද්වාරාර්‍වන සිතකින් අනුලෝම - ගෝත්‍ර‍භූ (වොද්‍ර‍න) සිත් උපන් කල්හි වොදානාන්තර වැ අනාගාමි මාර්‍ගය උපදී. මේ මාර්‍ග සම්ප්‍ර‍යුක්ත ඥානය, අනාගාමිමග්ග ඤාණය යි කියනු ලැබේ.

 

තෘතීය මාර්‍ගඥානය නිමි.

 

මේ තුන් වැනි අනාගාමිමග්ගඤාණයට අනතුරුව ද යට කී සේ ඵල සිත් උපදී. මෙතෙකින් මේ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ අනාගාමි නම් වූ සවන ආර්‍ය්‍ය පුද්ගලයා වේ.

 

විශේෂ:- මේ ආර්‍ය්‍ය තෙමේ ඔපපාතිකවැ පඤ්චසුද්ධාවාසයෙහි පිරිනිවෙනුයේ ඒ බඹලොවින් ප්‍ර‍තිසන්‍ධි වශයෙන් මේ කාම ලෝකයට නො එන හෙයින් පෙරළා නො එනසුලුනු යි අනාගාමි නම් වේ.

 

එයින් මතු ප්‍ර‍ත්‍යවේක්‍ෂණ සිත් පෙර කී සේ මැයි. මෙසේ ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කොට ද, ඒ අනාගාමි ආර්‍ය්‍යශ්‍රාවක එම ආසනයෙහි සිට ම හෝ, පසු කලෙක හෝ රූප රාග යැ, අරූප රාග යැ, මාන යැ, උද්ධච්ච යැ, අවිජ්ජා යැ යන උද්ධම්භාගීය පඤ්ච සංයෝජනයන්ගේ නිරවශේෂ ප්‍ර‍හාණයෙන් සතර වන අර්‍හත් භූමියට පැමිණීම පිණිස (විදර්‍ශනා) යෝග කෙරේ. හෙතෙමේ ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ගයන් එක් රැස් කොට ඒ සංස්කාර ජාතයම අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්මයැ යි ඥානයෙන් පිරිමදී. පෙරළ යි. විදර්‍ශනා වීථියට බසී. මෙසේ පිළිපන් ඒ යෝගීහට යට කී සේ ම සංඛාරුපෙක්ඛා ඤාණවසානයෙහි එක් මනොද්වාරාවර්‍ජනයකින් මතු අනුලොම - ගොත්‍ර‍භූ (වොදාන) ඤාණයන් උපන් කලැ වොදානයට අනතුරුවැ අර්‍හත්මාර්‍ගය උපදී. ඒ මාර්‍ග සම්ප්‍ර‍යුක්ත ඥානය අරහත්තමග්ගඤාණයැ යි කියනු ලැබේ.

 

චතුර්ථ මාර්ගඥානය නිමි.

 

මේ අර්‍හන්මාර්‍ගඥානයට අනතුරුව ද පෙර කී සේ ඵල සිත් දත යුතු යි. මෙතෙකින් මේ තෙමේ අර්‍හත් නම් වූ අටවැනි ආර්‍ය්‍යපුද්ගලයා වේ. මහා ඛීණාසව වූ, අන්තිම දේහය දරන බහා තබන ලද ස්කන්ධාදී බර ඇති ස්වකීය අර්‍ථයට පැමිණි, ක්‍ෂය කළ භව සංයෝජන ඇති, ස්කන්ධාදීන් ගේ ස්කන්‍ධාදි අර්‍ථයන් මොනවට දැනැ විමුක්ත වූ, සදේවක ලෝකයා ගේ අග්‍ර‍ දක්‍ෂිණාවට සුදුසු වූ අටවැනි ආර්‍ය්‍ය පුද්ගලයා වේ.

 

මෙසේ සොතාපත්ති මග්ග යැ, සකෘදාගාමි මග්ග යැ, අනාගාමි මග්ග යැ, අරහත්ත මග්ග යැ යන මේ සිවු මඟෙහි නුවණ, ඤාණදස්සන විසුද්ධි නමැයි කියන ලද වචනය, මේ ක්‍ර‍මයෙන් පැමිණිය යුතු සතර ඤාණ වශයෙන් කියන ලදි. දැන් මේ චතුර්විධ ඥානයෙන් ඥානදර්‍ශන විශුද්ධියේ ආනුභාව දැන ගැනීම පිණිස,

 

(1) පරිපූර්‍ණ බෝධිපාක්‍ෂික භාව යැ,

 

(2) වුට්ඨානයෙන් ද,  බලයෙන් ද යුක්ත බව යැ,

 

(3) ඒ ඒ මාර්‍ගයෙන් ප්‍ර‍හාණය කළමනා සංයෝජනාදිය ප්‍ර‍හීණ කිරීම යැ.

 

(4) අභිසමය කාලයෙහි ඒ ඒ පරිඥාදී වශයෙන් කියන ලද කෘත්‍යයන් පිළිවෙලින්

 

තතු සේ දැනීම යැ, යන මොහු අවශ්‍ය වෙත්.

 

(1) එහි සතර සතිපට්ඨාන යැ, සතර සම්‍යක් ප්‍ර‍ධාන යැ, සතර ඉද්ධිපාද යැ, පඤ්ච ඉන්‍ද්‍රියයැ, පඤ්ච බලයැ, සප්ත බොජ්ඣඞ්ගයැ, අෂ්ට ආර්‍ය්‍යමාර්ගයැ, යන මේ සන්තිස් (37) ධර්‍මයෝ නිර්‍වාණාවබොධනාර්‍ථයෙන් බෝධි නම් වූ ආර්‍ය්‍ය මාර්ගයාගේ පක්‍ෂයෙහි වූ හෙයින් බොධිපක්ඛීය නම් වෙති.

 

විශේෂ:- මෙහි පක්‍ෂයෙහි වීම නම් උපකාරක භාවයෙහි සිටීම යි.

 

විස්තර:- සතිපට්ඨාන - කායාදී ඒ ඒ අරමුණෙහි අනුවැ පිවිසැ, අනුවැ ගොස් එළඹ සිටින හෙයින් පට්ඨාන නම් සතියම පට්ඨාන වූයේ සතිට්ඨානය.

 

ඒ සතිපට්ඨානයෙහි කාය-වේදනා-චිත්ත-ධම්ම යන මේ සතර පිළිවෙලින් අශූභ යැ, දුඃඛ යැ, අනිත්‍ය යැ, අනාත්ම යැ යන මේ ආකාරයෙන් ගැනීම් වශයෙන් ද, ශ- යැ, සුඛ යැ, නිත්‍ය යැ, ආත්ම යැ යන මේ සංඥාවන් ප්‍ර‍හාණ කෘත්‍යය සිද්ධ කිරීම් වශයෙන්ද  පවත්නා හෙයින් සිවුවැදෑරුම් භේදය වේ. එහෙයින් සතර සතිපට්ඨානය යි කියනු ලැබේ.

 

(කායාදි සතරෙහි අශුභකාරාදි වශයෙන් ගැනීම පූර්‍වභාග සතිපට්ඨාන වශයෙන් කියන ලදී. ශුභ සංඥා දී ප්‍ර‍හාණ කෘත්‍ය සාධනය මාර්ග සතිපට්ඨාන වශයෙන් දතයුතු. ඒ මාර්‍ගයෙහි එකම සතිය ශුභ සංඥා දී සතර ප්‍ර‍හාණ කෘත්‍යය සිද්ධ කිරීම් වශයෙන් පවතී යනු ටීකා යි.)

 

සම්මප්පධාන- මේ හේතු කොට අන්‍ය චිත්ත - චෛතසික ප්‍ර‍ධන් (වීර්‍ය්‍ය) කෙරේනු යි පධාන නමි. ශෝභන වීර්‍ය්‍යය සම්මප්පධාන යැ. නොහොත් මේ හේතු කොට චිත්ත-චෛතසික ධර්‍ම මනාව වීර්‍ය්‍ය කෙරේනු යි හෝ සම්මප්පධාන යැ.

 

තවද, කෙලේස නැමැති විරූපභාව විරහයෙන් ශෝභන වූයේ ම හිත සුව නිපදවීම් විසින් උත්තම භාවය එළවන බැවින් හෝ සම්‍යක් ප්‍ර‍ධන් නමි. මේ වීර්‍ය්‍යයට නම් වේ. මේ වීර්‍ය්‍යය, උපන් අකුශලයන් ගේ ප්‍ර‍හාණ කෘත්‍යය, නූපන් අකුශලයන් ගේ අත්පාද කෘත්‍යය ද සිද්ධ කරන හෙයින් සතර වැදෑරුම් වේ. මෙසේ සතර සම්‍යක් ප්‍ර‍ධානයෝය යි කියනු ලැබෙත්.

 

ඉද්ධිපාද - පෙර ඉද්ධිවිධ නිර්දේශයෙහි කී සේ, ඉටු වීම් අරුතින් ඉද්ධි නම් වේ. නිපදවීම් ප්‍ර‍තිලාභ සම්පත්තියෙන් හෝ ඉද්ධි නම් වේ.

 

යමකින් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයෝ නිෂ්පාදනය වෙත් නම් හේ ඉද්ධි නමි. මෙහි සමාධි- පධාන සඞ්ඛාර ප්‍ර‍මුඛ මාර්ග ධර්‍ම ඉද්ධියයි.

 

ඒ ඡන්දාදීහු ‘තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට පූර්‍වාඞ්ගමාර්‍ථයෙන් හෝ, ඵල වූ සෘද්ධියට පූර්‍වභාග අර්‍ථයෙන් සෘද්ධීහු ගේ පාද වේනුයි හො සෘද්ධිපාද නම් වේ. ඒ සෘද්ධිපාදය, ඡන්‍ද චිත්ත - විරිය- වීමංසා වශයෙන් චතුර්විධ වේ. එහෙයින් සෘද්ධි පාද සතරෙකැ යි කියන ලදි.

 

එයින් වදාළහ:- “ඉද්ධිපාද සතරෙක ඡන්‍ද ඉද්ධිපාද යැ, චිත්ත ඉද්ධිපාද යැ, විරිය ඉද්ධිපාද යැ, වීමංසා ඉද්ධිපාද යැ[801] කියායි මේ සතර ලෝකෝත්තර ම වේ.

 

විශේෂ:- ‘ඡන්‍දය අධිපති කොට සමාධිය (චිත්තයා ගේ එකාග්‍ර‍තාවය) ලබා නම් මේ ඡන්‍ද සමාධිය යි’ කියනු ලැබේ. යනාදීන් වදාළ පරිදි ඡන්‍දාදී සතර අධිපතීන් ගේ වශයෙන් ප්‍ර‍තිලබ්ධ ධර්‍ම ඇති ඵස්සාදීහු සෘද්ධිපාදයෝ වෙති. මේ ලෞකික සෘද්ධිපාද යැ.

 

ඉන්‍ද්‍රිය- ශ්‍ර‍ද්ධා ප්‍ර‍තිපක්‍ෂ වූ අකුශල ධර්‍මය, අවස්තුක ප්‍ර‍සාද ප්‍ර‍තිරූපක වූ මිථ්‍යා දෘෂ්ටි අස්සද්ධිය ද, ථීන-මිද්‍ධ අකුශල සම්ප්‍ර‍යුක්ත කෝසජ්ජය ද, ස්මෘති විප්‍ර‍වාසය වූ ප්‍ර‍මාදය ද, නන් අරමුණෙහි සිත විසුරුවන වික්‍ෂේපය ද, අරමුණෙහි මුළා බව නම් වූ සම්මෝහය ද යන මොවුන් මැඩ පියන හෙයින් ඒ මැඩීම් අර්ථයෙන් ඉන්‍ද්‍රිය නමි.

 

බල- පෙර කී සේ අස්සද්‍ධිය - කෝසජ්ජාදීන් විසින් මැඩපිය නො හෙන අර්‍ථයෙන් ද, කම්පා නො වන අර්‍ථයෙන් ද ශ්‍ර‍ද්ධාදිය ම බල නමි.

 

මේ ඉන්‍ද්‍රිය බල දෙක ම ශ්‍ර‍ද්‍ධාදි වශයෙන් පඤ්චවිධ වේ. එහෙයින් පඤ්චින්‍ද්‍රිය යැ. පඤ්චබලයැ යි කියනු ලැබේ.

 

බොජ්ඣඞ්ග- චතුරාර්‍ය්‍යසත්‍ය ධර්‍මයන් අවබෝධ කරන සත්ත්‍වයා හට අඞ්ගභාවයෙන් සති ආදී සත් දෙන බොජ්ඣඞ්ග නම් වෙති.

 

(යම් පුද්ගලයකු) ලෝකෝත්තර මාර්‍ග ක්‍ෂණයෙහි උපදනා සති ආදි ධර්‍ම සමුදාය කරණ කොට ක්ලේශ සන්තාන නිද්‍රාවෙන් නැගෙන හෙයින් ද, චතුරාර්‍ය්‍ය සත්‍ය ප්‍ර‍තිවේධ කරන හෙයින් ද, නිර්‍වාණය හෝ අවබෝධ කරන හෙයින් ද මාර්ග ඥානය තෙමේ බෝධිය යි කියනු ලැබේ. ඔහුට අඞ්ගවන හෙයින් සති ආදිය බොජ්ඣඞ්ග නම් වේ. (ටීකා මතය)

 

අරියමග්ග- සසරින් නික්මවන (ගෙනයන) අර්ථයෙන් සම්මාදිට්ඨි ආදී අට දෙන මාර්ගාඞ්ග නම් වෙති.

 

මෙසේ මේ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මයෝ මාර්‍ගයට පූර්‍ව භාගයෙහි නානා චිත්තක්‍ෂණිකයන් වැ පවතිත්. ලෞකික විදර්‍ශනාව පවත්නා කල්හි ආනාපාන-ඉරියාපථ-චතුසම්පජඤ්ඤ-පටික්කුලමනසිකාර පර්ව හා- නවසීවථික පර්ව වශයෙන් තුදුස් (14) පරිද්දෙකින් පරිග්‍ර‍හ කරන්නහුට කායානුපස්සනා සතිපට්ඨානය ද, නව ප්‍ර‍කාරයෙකින් වෙදනා පරිග්‍ර‍හකරන්නහුට වේදනානුපස්සනා සතිපට්ඨානය ද, සොළොස් (16) ආකාරයෙන් සරාග- සදෝස- සමෝහ- සංඛිත්ත- මහග්ගත- සමාහිත- සඋත්තර- විමුත්ත යන සප්‍ර‍තිපක්‍ෂ පදයන්ගේ සොළොස් (16) ආකාරයෙන් සිත පරිග්‍ර‍හ කරන්නහුට චිත්තානුපස්සනා සතිපට්ඨානය ද, නීවරණ- උපාදානස්කන්‍ධ- ආයතන- බොජ්ඣඞ්ග- සච්ච යන පස්වැදෑරුම් පර්‍ව වශයෙන් ධර්‍මයන් පරිග්‍ර‍හ කරන්නහුට ධම්මානුපස්සනා සතිපට්ඨානය ද ලැබේ.

 

මේ අත්බැව්හි තමා සතන්හි නූපන් පරහට උපන් අකුශලය දැක ‘යම් යම් පරිද්දකින් පිළිපන් ඔහුට මේ වධබන්‍ධනාදිය උපන්නේ නම් මම එසේ නො පිළිපදිමි යි’ මෙසේ ඇති කල්හි ඒ අකුශලය මට නූපදීනු යි ඒ අකුසල් නූපදීමට වෑයම් කරන කල්හි පළමුවන සම්‍යක් ප්‍ර‍ධානය, තමා සතන්හි උපන් අකුසලයක් දැක ඒ අකුශල ප්‍ර‍හාණය පිණිස වෑයම් කරන්නහුට දෙවන සම්‍යක් ප්‍ර‍ධානය ද මේ අත්බව්හි නූපන්විරූ ධ්‍යාන විදර්‍ශනාදියක් ඉපදවීමට වෑයම් කරන්නහුට තුන්වන සම්‍යක් ප්‍ර‍ධානය, තමා සතන්හි උපන් ධ්‍යානාදියක් නො පිරිහෙන සේ නැවැතැ නැවැතැ උපදවන්නහුට සතරවන සම්‍යක් ප්‍ර‍ධානයලැබේ.

 

ඡන්‍දය ධුර (ප්‍ර‍ධාන) කොට කුශලය උපදවන කලැ ඡන්‍දිද්‍ධිපාදය වේ. (සෙස්ස ද මෙසේමැ යි.) -පෙ- මිථ්‍යා වචනයෙන් වෙන් වන කල්හි සම්‍යක් වාග් විරතිය වේය යි මෙසේ පූර්‍ව භාගයෙහි මේ සතිපට්ඨාන- සම්මප්පධාන- ඉද්‍ධිපාද විරතීහු නානා චිත්තයෙහි ලැබෙති.

 

විශේෂ:- මේ ඡන්‍දිද්‍ධිපාද- සම්මවාචාවන් ගෙන් සෙසු ඉද්ධිපාදයන් ද, සෙසු විරතීන් ද ලක්‍ෂණහාර වශයෙන් ලැබෙන හෙයින් කියන ලදී.

 

විස්තර:- මේ ධර්‍මයෝ සතර මාර්ග චිත්තයන් ගේ උත්පත්ති කාලයෙහි එක සිතෙහි ලැබෙති. ඵල ක්‍ෂණයෙහි සතර සම්‍යක් ප්‍ර‍ධානයන් හැර අවශේෂ තෙතිස් (33) ධර්‍මයෝ ලැබෙති. මෙසේ එකම චිත්තක්‍ෂණයෙහි ලැබෙන්නා වූ මොවුන් ්කෙරෙන් එකම නිවන් අරමුණු කරන සතිය, කාය-වෙදනා- චිත්ත- ධර්‍ම විෂයෙහි සුභ- සුඛ- නිච්ච- අත්ත සංඥාවන්ප්‍ර‍හාණ කෘත්‍යය සිද්ධ කිරීම් වශයෙන් සතර සතිපට්ඨානය යි කියනු ලැබේ. එක වීර්‍ය්‍යය-අනුත්පන්නයන් ගේ අනුත්පාදාදි කෘත්‍ය සාධන වශයෙන් සතර සම්මප්පධානය යි කියනු ලැබේ. මේ හැර, සෙසු ඉද්ධිපාදාදි පස් කොටසෙහි හායන, වඩ්ඪන නැති. සති -වීරිය යන වස්තු ධර්‍ම ද්වයය ම කායානුපස්සනාදී වශයෙන් සතරකට ද, සම්මප්පධාන වශයෙන් සතරකට ද බෙදේ. ඉද්ධිපාදාදිය වෙන වෙන වස්තු ධර්‍ම හෙයින් අඩු වැඩියෙන් නො වේ.

 

තව ද, සන්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මයන් විෂයෙහි විශේෂ විධියෙක් දැක්වේ.

 

නවයක් ඒකවිධ යැ, එකක් ද්විවිධ යැ, නැවැත එකක් චතුර්විධ යැ, එකක් පඤ්චවිධ යැ, එකක් අෂ්ටවිධ යැ එකක් නවවිධ යැ යි මෙසේ ඒ බෝධිපාක්‍ෂික ධර්‍මයෝ ෂඩ්විධ වෙති.

 

විස්තර:- ඡන්‍ද, චිත්ත, ඉද්ධිපාද වශයෙන්, පීති, පස්සද්ධි, උපෙක්ඛා, බොජ්ඣඞ්ග වශයෙන් ද, සම්මාසඞ්කප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, මග්ගඞ්ග වශයෙන් දැ යි මේ නවධර්‍ම එක් එක් වැදෑරුම් වේ.

 

සද්ධාව - ඉන්‍ද්‍රිය, බල වශයෙන් දෙපරිදි වේ.

 

සමාධිය - සමාධින්‍ද්‍රිය, සමාධි බල, සමාධිසම්බාජ්ඣඞ්ග, සම්මාදිට්ඨි වශයෙන් සිවුවැදෑරුම් වේ.

 

පඤ්ඤාව - ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, (ධම්මවිචය) සම්මා දිට්ඨි, (මග්ගඞ්ග) විමංසිද්ධිපාද වශයෙන් පස්වැදෑරුම් වේ.

 

සතිය - (සතර) සතිපට්ඨාන, ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, මග්ග වශයෙන් අටවැදෑරුම් වේ.

 

විරිය - සතර සම්මප්පධාන, ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, මග්ගඞ්ග, ඉද්ධිපාද වශයෙන් නව වැදෑරුම් වේ.

 

තවද:-

‘නො මුසු බෝ පැකි දම් - වත් දම් විසින් තුදුසෙකි. (14)

කොටස් විසින් සත්විඳි - උකට බෙයින් සත් තිසෙකි. (37)’

 

මේ සියලු බෝධිපාක්‍ෂික, ධර්‍ම සති, විරිය, ඡන්‍ද, චිත්ත, පඤ්ඤා, සද්‍ධා, සමාධි, පීති, පස්සද්ධි, උපෙක්ඛා, (සඞ්කප්ප) චිතක්ක, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යැ යි අමිශ්‍ර‍ව වස්තු ධර්‍ම වශයෙන් තුදුසෙක් (14) වේ.

 

විශේෂ:- අධිපති සතර එකවිට නො ලැබෙන හෙයින් දෙතිසෙකුදු (32) වේ. ඒ ධර්‍මයක් සත්තිස් වැදෑරුම් වනුයේ මෙසේ

 

“සිය කිස නිපදනෙන් - සිය රුවිනුදු පවත්නෙන්

අරී මග නිපන් කලැ - මෙ සියලු දම් නිපදනේ”

 

එක් එක් ධර්‍මයක් ඒකවිධ වැ සිට තමා අයත් ඒ ඒ කෘත්‍ය කරන හෙයින් ද, චිත්තිද්ධිපාදාදීන් අභේද වැ ස්වරූපයෙන් පවත්නා හෙයින් ද, සත්තිස් (37) ධර්‍මයෝ ම ආර්ය මාර්‍ගයෙහි සම්භව වෙති.

 

මෙසේ පළමු කොට මේ ඥානදර්‍ශනවිශුද්ධියෙහි පරිපූර්‍ණ බෝධිපාක්‍ෂික භාවය දතයුතු.

 

(2) වුට්ඨාන බලසමායෝගය - නිමිත්තයෙනුදු, ප්‍ර‍වෘත්ත යෙනුදු නැගීම වුට්ඨාන නමි. සමථ - විදර්‍ශනා බලයෙන් සම්ප්‍ර‍යුක්ත බව බලසමායෝග නමි. වුට්ඨානය ද, බලසමායෝගය ද, වුට්ඨාන - බලසමායෝගය නම් වේ.

 

විශේෂ:- ලෞකික විදර්‍ශනාව සංස්කාර නිමිත්ත අරමුණු කොට ඇති හෙයින් නිමිත්තෙන් නො නැගිටියි. ප්‍ර‍වෘත්ති කාරණා වූ සමුදාය සමුච්ඡෙද නොකරන හෙයි් (නො සිඳින හෙයින්) විපාක ප්‍ර‍වෘත්තියෙන් නො නැඟේ.

 

විස්තර:- එහි නිමිත්තයෙන් නැඟීම නම් සංස්කාර නිමිත්ත හැරෑ නිවන් අරමුණු කිරීම යි. පැවැත්මෙන් නැගීම නම් හේතු නිරෝධයෙන් ආයති විපාක ප්‍ර‍වෘත්තිය නූපදනා ස්වභාවයට පැමිණවීම යි.

 

ගොත්‍ර‍භූ ඤාණය - සමුදය ක්ලේශය නො සිඳින හෙයින් විපාක ප්‍ර‍වෘත්තියෙන් නො නැගෙයි. එහෙත් නිර්‍වාණය අරමුණු කරන හෙයින් සංස්කාර නිමිත්තෙන් නැගෙන හෙයින් එතෙකින් නැගීම වේ. එහෙයින් “බහිද්ධාවුඨානවිවට්ටෙන පඤ්ඤා ගෝත්‍ර‍භූ ඤාණං[802] ‘බැහැර සංස්කාරයන් කෙරෙන් නැගීම ය යන පෙරැළීමෙහි ප්‍ර‍ඥාව ගෝත්‍ර‍භූ ඤාණය’ යි කීහ.

 

එසේම උත්පාදයෙන් පෙරැළී අනුත්පාදය (නිර්‍වාණය) ට වදීනු යි’ ගෝත්‍ර‍භූ නමි. මෙසේ සියල්ල දතයුතු.

 

මේ සතර මාර්‍ගඥානයෝ අනිමිත්තාලම්බනික (නිර්‍වාණලම්බන) හෙයින් සංස්කාර නිමිත්තෙන් නැගෙති. සමුදය සමුච්ඡෙද කරන හෙයින් විපාක ප්‍ර‍වෘත්තියෙන් නැගෙත්නු යි දුභතොවුට්ඨාන (දෙකින් ම නගින්නාහු) නම් වෙත්.

 

එයින් වදාළහ:- “නිමිත්ත - ප්‍ර‍වෘත්ති දෙකින් නැගිටීමෙන් පෙරළා හරින ප්‍ර‍ඥාව කෙසේ මාර්‍ගයෙහි ඥානය වේ ද සෝවාන් මාර්‍ගක්‍ෂණයෙහි පරිඥ-ප්‍ර‍හාණ-සාක්‍ෂාත්ක්‍රියා-භාවනා-අභිසමය වශයෙන් චතුස්සත්‍යය දර්‍ශනාර්‍ථයෙන් සම්‍යක්දෘෂ්ටියෙන් දෙසැට (62) මිථ්‍යාදෘෂ්ටියෙන් නැගේ. අපායගාමිනී බැවින් තදනුවර්‍තක වූ විචිකිච්ඡාදී ක්ලේශයන් කෙරෙන් මිථ්‍යාදෘෂ්ටි ප්‍ර‍ත්‍යයෙන් උපදනට සුදුසු ස්කන්‍ධයන් කෙරෙනුදු නැගේ. පිටත්හි සියලු සංස්කාර නිමිත්තයෙනුදු නැගේ. නිමිත්ත -  ප්‍ර‍වෘත්ති දෙකින් නැගිටීමෙන් පෙරළා හරින ප්‍ර‍ඥාව මාර්‍ගයෙහි ඥානය යි[803] කියා යි.

 

සිත නිවනට නැංවීම අර්‍ථයෙන් සම්මාසඞ්කප්පය කාම සඞ්කල්පාදී ත්‍රිවිධ මිථ්‍යා සඞ්කල්පයෙන් නැගේ. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද, ස්කන්‍ධයන් කෙරෙන් ද, බැහැර වූ සියලු නිමිත්තයන් කෙරෙන් ද නැගේ. (යනාදිය මත්තෙහි ද එසේම යෙදිය යුතු.)

 

සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් මනා කොට නුවණින් ගැනීම් අර්‍ථයෙන් සම්‍යක් වචනය මුසාවාදාදී චාතුර්විධ වාග් දුශ්චරිතයෙන් නැගේ. සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් මොනවට නැගිටුවීම් අර්ථයෙන් සම්‍යක් කර්‍මාන්තය ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් ද, ආජීව පිරිසිදු කරන අර්ථයෙන් සම්‍යක් ආජීවය මිථ්‍යා ආජීවයෙන් ද, නගා සිටුවන අර්‍ථයෙන් සම්‍යක් ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමයෙන් ද, අරමුණු එළඹ සිටීම් අර්ථයෙන් සම්‍යක් සතිය මිථ්‍යා සතියෙන් ද, අවික්‍ෂිපතාර්‍ථයෙන් සම්‍යක් සමාධිය මිථ්‍යා සමාධියෙන් ද නගියි. තදනුවර්‍තක ක්ලේශයන් ගෙන් ද ස්කන්‍ධයන් ගෙන් ද නැගේ. බාහ්‍ය වූ සර්‍ව නිමිත්තයන් කෙරෙන් ද නැගේ. එහෙයින් “දුහතො වුට්ඨානවිවට්ටෙන පඤ්ඤා මග්ගෙඤාණං[804] යි කියනු ලැබේ.

 

ශකෘදාගාමි මාර්‍ගක්‍ෂණයෙහි දර්ශනාර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය -පෙ- අවික්‍ෂෙපාර්‍ථයෙන් සම්‍යක් සමාධිය, ඖදාරික කාමරාග සංයෝජන කෙරෙන් ද, පටිඝසංයෝජන කෙරෙන් ද, ඖදාරික කාමරාගානුසය කෙරෙන් ද පටිඝානුසය කෙරෙන් ද නගී.

 

අනාගාමී මාර්‍ගක්‍ෂණයෙහි දර්ශනාර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය -පෙ- අවික්‍ෂෙපාර්ථයෙන් සම්‍යක් සමාධිය අනුසහගත කාමරාග සංයෝජනයෙන් ද, පටිඝසංයෝජනයෙන් ද, අනුසහගත කාමරාගානුසයෙන් ද, අනුසහග පටිඝානුසයෙන් ද නැඟේ.

 

අර්‍භන් මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ථයෙන් සම්‍යක් දෘෂ්ටිය -පෙ- අවික්‍ෂෙපාර්‍ථයෙන් සම්‍යක් සමාධිය -පෙ- රූපරාගායෙන් ද, අරූපරාගයෙන් ද, මානයෙන් ද, උද්ධච්චයෙන් ද, අවිද්‍යාවෙන් ද, භවරාගානුසයයෙන් ද, මානානුසයයෙන් ද, අවිජ්ජානුසයයෙන් ද, නැගේ.

 

තදනුවර්‍තක ක්ලේශයන් ගෙන් ද ස්කන්‍ධයන් ගෙන් ද නැගේ. බාහිර සියලු නිමිතීන් ගෙන් ද නැගේ. එහෙයින් “නිමිත්ත ප්‍ර‍වෘත්ති දෙකින් නැගීමෙන් පෙරළා හරින ප්‍ර‍ඥාව මාර්‍ගයෙහි ඥානය යි කියනු ලැබේ.

 

ලෞකික අෂ්ට සමාපත්තීන් භාවනා කාලයෙහි සමාධි භාවනා හෙයින් සමථ බලය අධික වේ. අනිච්චානුපස්සනාදිය භාවනා කරන කාලයෙහි විදර්‍ශකා බලය අධික වේ. ආර්‍ය්‍යමාර්‍ග ක්‍ෂණයෙහි වනාහි ඒ ශමථ - විදර්‍ශනා ධර්‍මයෝ දෙදෙන සමවැ අන්‍යොන්‍යයන් වැළද ගන්නවුන් මෙන් පවතිත්. එහෙයින් මේ සතර ඤාණයෙහි ම සමථ-විදර්‍ශනාබල සමයෝගය වේ.

 

එයින් වදාළහ. “උද්ධච්ච සහගත කිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුඨහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි නිරොධ ගොචරො. අවිජ්ජාසහගත කිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට්ඨහතො අනුපස්සනට්ඨෙන විපස්සනා නිරොධ ගොචරා ඉති වුට්ඨානට්ඨෙන සමථ - විපස්සනා එකරසා හොන්ති යුගනන්‍ධා හොන්ති. අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති තෙ වුච්චතිවුට්ඨානට්ඨෙන සමථවිපස්සනා යුගනද්ධාභාවෙතීති[805]

 

‘උද්ධච්චය ප්‍ර‍ධාන කොට ඇති ක්ලේශයන් කෙරෙන් ද උද්ධච්ච සම්ප්‍ර‍යුක්ත ස්කන්‍ධයන් කෙරෙන් ද නැගී සිටි යෝගීහු ගේ චිත්තයා ගේ එකාග්‍ර‍තා ඇති, එහෙයින් ම අවික්‍ෂේප වූ සමාධිය නිවන් අරමුණු කොට පවතී. අවිද්‍යා ප්‍ර‍ධාන ක්ලේශයන් කෙරෙනුදු, අවිද්‍යා සම්ප්‍ර‍යුක්ත ස්කන්‍ධයන් කෙරෙනුදු නැගෙන්න හූ ගේ අනුදර්ශනාර්ථයෙන් පවත්නා විදර්‍ශනාව නිරෝධය අරමුණු කොට ඇත්තේ යැ. මෙසේ වුට්ඨානාර්‍ථයෙන් (නිමිත්තයෙන්ද, ප්‍ර‍වෘත්තියෙන් ද නැගෙන හෙයින්) ශමථ - විදර්‍ශනා දෙදෙන එක කෘත්‍ය වෙති. යුගයෙහි බද්‍ධයන් සේ සමවෙති. ඔවුනොවුන් නො ඉක්මවත්. වුට්ඨානාර්‍ථයෙන් ශමථ-විදර්‍ශනා යුගනන්‍ධවැ වඩා යැ යි” එයින් කී.

 

මෙසේ මෙහි වුට්ඨානබල සමායෝගය දත යුතු යි.

 

(3) යම් සංක්ලේශ ධර්‍මකෙනෙක් යම් නුවණකින් ප්‍ර‍හාණය කළ යුතු වෙත් නම් ඒ සංක්ලේශයන් ගේ ප්‍ර‍හාණය ද වේ.

 

ඒ මෙසේ යි:- මේ චතුර්විධ මාර්‍ගඥාන අතුරින් යම් මාර්‍ග ඥානයකින් ප්‍ර‍හාණය කළ යුතු නම් ඔවුන් ගේ ප්‍රහාණය දතයුතු. ඒ ධර්‍මයෝ වනාහි යෙදෙන පරිද්දෙන් බඳින අර්‍ථයෙන් සංයෝජන යැ, කෙලෙසීම් අර්‍ථයෙන් ක්ලේශ යැ, මසුරු ස්වභාවයෙන් මච්ඡරිය යැ, විපරීත භාවයෙන් විපල්ලාස යැ, ගැට ගැසීම් අර්‍ථයෙන් ග්‍ර‍න්‍ථ යැ, අයුතු ගතිය යන අර්‍ථයෙන් අගති යැ, වැගිරෙන අර්‍ථයෙන් ආසව යැ, යටපත් කොට නසන අර්‍ථයෙන් ඕඝ යැ යොදන අර්‍ථයෙන් යෝග යැ සගමොක් මඟ වසන අර්‍ථයෙන් නීවරණ යැ, ධර්‍ම ස්වභාවය ඉක්මවා අනෙකක් ගැනීම් අර්‍ථයෙන් පරමාස යැ, දැඩිවැ ගැනීම් අර්‍ථයෙන් උපාදාන යැ, අප්‍ර‍හීණවැ සන්තානයෙහි නැවැතැ - නැවැත හොවින අර්‍ථයෙන් අනුසය යැ, කිලිටි කරන අර්‍ථයෙන් මල යැ, යන මොවුන් ද අකුශල කර්‍මපථයන් ද අකුශල චිත්තෝපාද සංඛ්‍යාත ධර්‍මයන් ද යෙදෙන යෙදෙන පරිද්දෙන් ප්‍ර‍හාණය කරන්නා හූ වෙත්. 

 

විස්තර:- එහි සංයෝජන, මෙලෝ - පරලෝ ස්කන්‍ධයන් ද ඵලය හා කර්‍මය ද, දුක හා සත්ත්‍වයන් ද, එකට බඳින බැවින් රූප රාගාදි දශ ධර්‍මයෝ සංයෝජනය නම් වෙති. යම්තාක් මේ රූපරාගාදිය පවතී නම් ඒතාක් මේ ස්කන්‍ධ යැ, ඵල යැ දුඃඛ යැ, යන මොවුන් ගේ අවිච්ඡේදය වේ. ඔවුනතුරිනුදු රූපරාගය, අරූපරාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාය යන හේ පස රූපා‘රූප භවයෙහි හෝ තෘතිය මාර්‍ගොත්පත්තියෙන් මතුයෙහි හෝ නිපදනා ස්කන්‍ධයන් සංයෝජනය කරන හෙයින් උද්ධම්භාගිය සංයෝජනයැ යි ද; සක්කායදිට්ඨි විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝය යන මොහු රූපා‘රූප භවයෙන් යට හෝ, තෘතීය මාර්ගයෙන් යට නිපදනා ස්කන්‍ධාදිය හා බඳින හෙයින් අධොබාගිය සංයෝජනයැ යි ද කියනු ලැබේ.

 

කිලෙස, තමා මැ කිලිටි වන හෙයින් ද, සම්ප්‍ර‍යුක්ත ධර්‍ම කලිටි කරන හෙයින් ද, ලෝභයැ, දෝසයැ, මෝහයැ, මානයැ, දිට්ඨියැ, විචිකිච්ඡායැ, ථීනයැ, උද්‍ධච්චයැ, අහිරිකයැ, අනොත්තප්ප යැ යන මේ දශ ධර්‍මයෝ ක්ලේශ ධර්‍ම නම් වෙති.

 

මිච්ඡත්ත, වරදවා විපරිත අදහසින් පවත්නා හෙයින් මිථ්‍යා දෘෂ්ටි, මිථ්‍යා සංකල්ප, මිථ්‍යා වචන, මිථ්‍යා කර්‍මාන්ත, මිථ්‍යා ආජීව, මිථ්‍යා ව්‍යායාම, මිථ්‍යා ස්මෘති, මිථ්‍යා සමාධි යන අෂ්ට ධර්‍ම මිථ්‍යාභාවයෙන් යුක්ත හෙයින් මිච්ඡත්ත නමි. මිථ්‍යා විමුත්ති මිථ්‍යා ඥාන හෝ සමග දශයෙක් ද වේ.

 

ලෝක ධර්‍ම, ස්කන්‍ධයන් ගේ පැවැත්ම ඇති කලැ අනුපරම ධර්‍මකත්‍වයෙන් (පින් - පව් විසින් අනෙක් ලෝක ධර්‍ම නො සිඳින හෙයින්) ලාභ යැ, අලාභ යැ, අයස යැ, යස යැ, නින්දා යැ, ප්‍ර‍ශංසා යැ, සුඛ යැ, දුක්ඛයැ යන මේ අට දෙනයි.

 

(මෙහි කාරණොපචාරයෙන් ලාභාදි වස්තුක අනුනය තෘෂ්ණාව ගේ ද, අලාභාදි වස්තුක ප්‍ර‍තිඝයා ගේ ද මේ ලෝක ධර්‍ම ග්‍ර‍හණයෙන් ගැනීම කරන ලදැ යි දත යුතු.)

 

මච්ඡරිය, ආවාස, මච්ඡරිය, කුලමච්ඡරිය, ලාභ මච්ඡරිය, ධම්ම මච්ඡරිය, වණ්ණ මච්ඡරිය යි ආවාසාදිය අනුන් හා සාධාරණ බව නො ඉවසනාකාරයෙන් පැවති මාතසර්‍ය්‍ය පස යි.

 

විපල්ලාස, අනිත්‍ය-දුඃඛ-අනාත්ම-අශුභ වස්තූන්හි මැ නිත්‍යසුඛ-ආත්ම-ශුභ වශයෙන් පැවැති සංඥා - චිත්ත දෘෂ්ටි විපර්‍ය්‍යාසයෝ තිදෙනා යි.

 

ග්‍ර‍න්‍ථ, නාම-රූප කායයන් භවයෙන් භවයෙහි ගැටගසන අභිධ්‍යාදි සතර යැ. එනම් අභිජඣා-ව්‍යාපාද-සීලබ්බත පරාමාස-ඉදංසච්චාභිනිවෙස කායග්‍ර‍න්‍ථයෝ සතර දෙනා යි.

 

අගති, ඡන්‍ද යැ - දෝස යැ - මෝහ යැ - භය යැ යන සතරින් යෙදී නො කටයුතු කිරීම හා කටයුතු නො කිරීමයි. මෙය ආර්‍ය්‍යයන් විසින් නො යා යුතු හෙයින් අගති නම් වේ.

 

ආශ්‍ර‍ව, අරමුණු හෙයින් ගෝත්‍ර‍භූ දක්වා ද, භවාග්‍ර‍ය දක්වා ද, වහනය වන හෙයින් හෝ, සංවරණය නො කළ චක්‍ෂුරාදි ද්වාරයෙන් කළ සිදුරු වලින් ජලය සේ වහනය වන හෙයින් නිති වැගිරීම් අර්‍ථයෙන් හෝ සසර දුක වහනය වන හෙයින් හෝ කාමරාග - භවරාග - මිථ්‍යාදෘෂ්ටි - අවිද්‍යා යන මොවුනට මේ නමෙකි.

 

ඕඝ, භව සාගරයට ඇද හෙළන අර්‍ථයෙන් හා එතර වීමට දුෂ්කර අර්‍ථයෙන් ඔවුහු ම ඕඝය වැනිනු යි ඕඝ නම් වෙති.

 

නීවරණ, ආලම්බන වියෝගයට හා දුඃඛ වියෝගයට (අවකාශ) නො දෙන හෙයින් ඔවුහු ම යෝග නම් වෙති.

 

නීවරණ, කුශල චිත්තය විශේෂයෙන් ධ්‍යාන චිත්තය ආදියෙහි වැළැක්ම ආවරණ යැ, ක්ලේශ වාසනයට පමුණුවා වැලැක්වීම නීවරණ යැ, බිත්ති කවුළු ආදියෙන් මෙන් වැසීම ප්‍ර‍තිච්ඡාදනය යි. කුශලාදීන් පිරිසිඳ දැක්ක නොදී පැවැත්ම මෙහි නීවරණයයි. ඒ වනාහි කාමච්ඡන්දාදි පඤ්චකය යි.

 

පරාමාස, කායාදි ඒ ඒ ධර්‍මයා ගේ අශුභාදි ස්වභාවය ඉක්ම පරවශයෙන් (ශුභාදි වශයෙන්) නැති සැටියක් දැඩිකොට ගැනීම් ආකාරයෙන් පවත්නා හෙයින් මිථ්‍යාදෘෂ්ටිය පරාමාස නම් වේ.

 

උපදාන, සර්‍වාකාරයෙන් පටිච්ච සමුප්පාද නිර්දේශයෙහි කියන ලද කාමූපදානාදී සතරයි.

 

අනුසය, බලවත්වැ ම උපන් බැවින් ස්ථිරාර්‍ථයෙන් කාමරාගනුස්ස, පටිඝ-මාන-දිට්ඨි-විචිකිච්ඡා-භවරාග-අවිජ්ජානුසය යැ යන මේ සතයි. (මොවුන් බලවත් බවට පැමිණි හෙයින්) නැවැතැ නැවැතැ කාමරාගාදීන් ගේ උත්පත්තියට හේතු භාවයෙන් අනුවැ ශයනය කරන හෙයින් අනුසය නම් වේ.

 

මල, තෙල් අඳුන් කල්කයක් මෙන් තමාත් කිලිටු බැවින් ද, මෙරමාත් අශුද්‍ධ කරන හෙයින් ද, ලෝභ, දෝස, මෝහ යන තුන මල නමි.

 

අකුසල කම්මපථ, අකුශල කර්‍ම භාවයෙන් ද, දුගතියට මාර්‍ග භාවයෙන් ද, පානාතිපාත- අදින්නාදාන- කාමෙසුමිච්ඡාචාර- මුසාවාද- පිසුනාවාචා- ඵරුසාවාචා- සම්ඵප්පලාප- අභිධ්‍යා- ව්‍යාපාද- මිථ්‍යාදෘෂ්ටි යන දශය අකුශල කර්‍මපථ නම් වේ.

 

අකුශල චිත්තොත්පාද- ලෝභ මූලික අකුසල සිත් අට යැ, දෝස මූලික දෙක යැ, මෝහ මූලික දෙකයැ යි මේ දොළසයි. මෙසේ මේ සංයෝජනාදී ධර්‍මයන් මේ සතර මාර්‍ග ඥාන ධර්‍මයෝ යෙදෙන යෙදෙන පරිදි ප්‍ර‍හාණය කරන්නෝ වෙති.

 

ඒ මෙසේයි:- (පළමුව) සංයෝජනයන් අතුරෙහි සක්කායදිට්ඨි- විචිකිච්ඡා- සීලබ්බතපරාමාස ද, අපායට පමුණුවන සුලු කාමරාග- ප්‍ර‍තිඝදැ යි මේ පඤ්ච ධර්‍මයෝ ප්‍ර‍ථම මාර්‍ග ඥානයෙන් (සෝවාන් මග නැණින්) නැසිය යුතු වෙත්.

 

ඖදාරික වූ සෙසු කාමරාග ප්‍ර‍තිඝයෝ- ද්‍විතීය ශකෘදාගාමී මාර්‍ගයෙන් වධ්‍ය වෙති. සූක්‍ෂම කාමරාග - ප්‍ර‍තිඝයෝ තෘතීය අනාගාමි මාර්‍ගයෙන් වධ්‍ය වෙති. රූපරාගාදි පස්දෙන චතුර්‍ථ අර්‍හත් මාර්‍ගඥානයෙන් වධ්‍ය වෙත්.

 

ක්ලේශයන් අතුරෙන් දිට්ඨි - විචිකිච්ඡා දෙදෙන ප්‍ර‍ථම මාර්‍ග ඥාන වධ්‍යයහ. ද්වේෂය තෘතීය මාර්‍ගඥාන වධ්‍යයැ. ලෝභ - මෝහ - මාන - උද්ධච්ච - අහිරික - අනොත්තප්ප යන මොහු චතුර්ථ මාර්‍ගඥාන වධ්‍යයහ.

 

මිච්ඡත්ත ධර්‍මයන් අතුරින් දිට්ඨි - මුසාවාද - මිථ්‍යාකර්‍මාන්ත මිථ්‍යා ආජීව යන මොහු ප්‍ර‍ථම මාර්‍ගඥාන වධ්‍යයහ. මිච්ධා සඞ්කප්ප- පිසුනාවාදා- ඵරුසාවාචා යන මොහු අනාගාමි මාර්‍ගඥාන වධ්‍යයෝ යි.

 

විශේෂ:- මෙහි වාචා නම් චේතනා යි.

 

සම්ඵප්‍ර‍ලාපයැ, මිථ්‍යාව්‍යායාමයැ, මිථ්‍යා ස්මෘතියැ, මිථ්‍යා සමාධියැ, මිථ්‍යාවිමුක්තියැ, මිථ්‍යා ඥානයැ යන මොහු චතුර්‍ථ මාර්‍ගඥාන වධ්‍යයහ.

 

ලෝක ධර්‍ම අතුරින් ප්‍ර‍තිඝය, තෘතීව මාර්‍ගඥාන වධ්‍යයැ. අනුනය සඞ්ඛ්‍යාත තෘෂ්ණාව චතුර්‍ථ මාර්‍ගඥාන වධ්‍යයැ, යශසෙහි ද, ප්‍ර‍ශංසායෙහි අනුනය චතුර්‍ථ මාර්‍ගඥාන වධ්‍යයැ යි සමහරු කියති. ලෝභාදියෙහි ද, සුඛයෙහි ද අනුනය කාමරාගශ්‍රිත හෙයින් තෘතීය මාර්ගඥාන වධ්‍යයැ යි කියත්. මාත්සර්‍ය්‍යය ප්‍ර‍ථම මාර්ගඥාන වධ්‍යයි.

 

විපර්‍ය්‍යාස අතුරින් අනිත්‍යයෙහි නිත්‍ය යැ, අනාත්මයෙහි ආත්මයැ යි ද සංඥා විපර්‍ය්‍යාස- චිත්ත විපර්‍ය්‍යාස- දෘෂ්ටි විපර්‍ය්‍යාස- යෝ ද, දුඃඛයෙහි සුඛයැ, අශුභයෙහි ශුභයැ යි ද දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද යන මොහු ප්‍ර‍ථම මාර්‍ගඥාන වධ්‍යයහ. අශුභයෙහි ශුභය යන සංඥා-චිත්ත විපර්‍ය්‍යාසයෝ තෘතීය මාර්‍ගඥාව වධ්‍යයහ. දුඃඛයෙහි සුඛය යි සංඥා-චිත්ත විපර්‍ය්‍යාසයෝ චතුර්‍ථ මාර්‍ගඥාන වධ්‍යයහ.

 

ග්‍ර‍න්ථ අතුරින් සීලබ්බතපරාමාස- ඉදංසච්චභිනිසෙ- කාය ග්‍ර‍න්ථයෝ ප්‍ර‍ථම මාර්‍ගඥාන වධ්‍යයහ. ව්‍යාපාදකය- ග්‍ර‍න්ථය තෘතීය මාර්ගඥානව වධයය. අභිධ්‍යාකාය ග්‍ර‍න්ථය චතුර්‍ථ මාර්ගඥාන වධ්‍ය යි.

 

අගතීහු ප්‍ර‍ථම මාර්ගඥාන වධ්‍යයහ.

 

විශේෂ:- ඡන්‍ද්‍ර‍දිය මතු මාර්‍ගයෙන් ප්‍ර‍හීණවතුදු තන්මුලක අකර්තව්‍ය කරණය ද කර්තව්‍යයා ගේ අකරණය ද අපාය ගමනීය හෙයිනි.

 

ආශ්‍ර‍වයන් අතුරින් දිට්ඨාසවය, ප්‍ර‍ථම මාර්ගඥාන වධ්‍යය. කාමාශ්‍ර‍වය තෘතීය මාර්ග ඥාන වධ්‍යයැ. භවාශ්‍ර‍ව අවිද්‍යාශ්‍ර‍වයෝ චතුර්‍ථ මාර්ගඥාන වධ්‍යයහ. ඕඝ-යෝගයන්හි ද මෙසේමැ යි.

 

නීවරණ අතුරින් විචිකිච්ඡා නීවරණය ප්‍ර‍ථම මාර්ගඥාන වධ්‍යයැ. කාමච්ඡන්‍ද-ව්‍යාපාද- කුක්කුච්ච යන තිදෙන තෘතීය මාර්ගඥානය වධ්‍යයහ. ථීන-මිද්ධ-උද්ධච්චයෝ චතුර්‍ථ මාර්ගඥානය වධ්‍යයහ.

 

විශේෂ:- කෘත‘කෘත දුශ්චරිත-දුචරිතානුශෝචන වූ කුක්කුච්චය තෘතීය මාර්ගඥානයෙන් ද, ඖදාරික කුක්කුච්චය ප්‍ර‍ථම මාර්ගඥානයෙන්ද වධ්‍යයි.

 

මිථ්‍යා දෘෂ්ටි වූ පරාමාසය ප්‍ර‍ථම මාර්ගඥාන වධ්‍යයි.

 

උපාදාන අතුරින් සියලු ලෞකික ධර්‍ම ම වස්තුකාම වශයෙන් කාමය යි. ආගත වැනි රූපරාග-අරූපරාග ද කාමුපාදානයෙහි වැටේ. එහෙයින් ඒ උපාදානය චතුර්‍ථ මාර්ගඥාන වධ්‍යයැ. සෙසු දිට්ඨි- සීලබ්බත- අත්තවාද උපාදාන තුන ප්‍ර‍ථම මාර්ගඥාන වධ්‍යයි.

 

අනුශය අතුරින් දිට්ඨි- විචිකිච්ඡානුසය දෙක ප්‍ර‍ථම මාර්ග ඥාන වධ්‍යයැ. කාමරාග- ප්‍ර‍තිඝානුසස දෙක තෘතීය මාර්ග ඥාන වධ්‍යයැ. මාන-භව-අවිද්‍යානුශය තුන චතුර්‍ථ මාර්ග ඥාන වධ්‍යයි.

 

මල අතුරින් දෝස මලය තෘතීය මාර්ගඥාන වධ්‍යයැ. සෙසු ලෝභ- මෝහ මල දෙක චතුර්‍ථ මාර්ගඥාන වධ්‍යයි. අකුශල කර්‍මපථ අතුරින් ප්‍රාණඝාත-අදත්තාදාන-කාම මිථ්‍යාචාර-මෘෂාවාද- මිථ්‍යාදෘෂ්ටි යන මොහු ප්‍ර‍ථම මාර්ග ඥාන වධ්‍යයහ. පිසුනාවාචා- ඵරුසාවාචා- සම්ඵප්‍ර‍ලාප- අභිධයා දෙදෙන චතුර්‍ථ මාර්ගඥාන වධ්‍යයහ.

 

අකුශල චිත්තොත්පාද අතුරින් දිට්ඨිගත සම්පයුත්ත සතර යැ, විචිකිච්ඡාසම්පයුත්ත සිතය යන පස ප්‍ර‍ථම මාර්ග ඥාන වධ්‍යයැ. ප්‍ර‍තිඝසම්ප්‍ර‍යුක්තදෙසිත තෘතීය මාර්ගඥාන වධ්‍ය යි.

 

විශේෂ:- ප්‍ර‍තිඝයා ගේ ඖදාරික ය ද්‍විතීය මාර්‍ගවධ්‍ය බව් යට කී සේ යි. මෙහි චිත්තොත්පාද ග්‍ර‍හණයෙන් මක්ඛ- පලාස - මායා- සාඨෙය්‍ය- පමාද- ථම්හ- සාරම්හාදිය සංගෘහීතය යනු ටීකායි.

 

සෙසු දිට්ඨි විප්පයුත්ත සතර යැ, උද්ධච්චසම්පයුත්ත සිතදැ යි යක පස් චතුර්‍ථ මාර්ගඥානන වධ්‍යයි.

 

මෙසේ යම්මැ අකුශල ධර්‍මයෙක් යම් ආර්යමාර්‍ග ඥානයෙකින් වඳ කළ යුතු නම් ඒ අකුශල ධර්‍මය ඒ මාර්‍ගඥානයෙන් ප්‍ර‍හාණය කළ යුතුයි. එහෙයින් මේ සංයෝනාදිය මේ මාර්ග ඥානයෝ යෙදෙන යෙදෙන සේ ප්‍ර‍හාණය කරන්නාහුයැ යි කීහ.

 

ප්‍ර‍ශ්නයෙකි:- මේ මාර්‍ගඥානයෝ අතීත-අනාගත සංයෝජනාදී ධර්‍ම පහ කෙරෙද් ද නැතහොත් වර්‍තමානයන් පහ කෙරෙද් ද,

 

පිළිතුර:- අතීතයන් නිරුද්ධ වූ හෙයින් අතීත අකුශල ප්‍ර‍හාණය නිෂ්ඵල වේ. අනාගතයන් නූපන් හෙයින් එහි ව්‍යායාමය ද නිෂ්ඵල යැ, ප්‍ර‍හාතව්‍යයන් ඇති කල ප්‍ර‍හාණය අසම්භව වන හෙයින් ද, ව්‍යායාමය සමග ප්‍ර‍හාතව්‍ය ක්ලේශයන් එක් වැ පවත්නා හෙයින් මාර්‍ග භාවනාව සකිලිටු වන හෙයින් ද, ප්‍ර‍ත්‍යුත්පන්නයන් ගේ ද ප්‍ර‍හාණය නො වේ.

 

නිදර්‍ශන:- ආලොක- අන්‍ධකාර දෙක එක්වැ පවත්නා කලැ ආලෝකය නො පවත්නා හෙයින් නිෂ්ඵල වන්නාක් මෙනි.

 

මතභේදයෙක්:- ‘චිත්ත විප්‍ර‍යුක්ත සංස්කාර ඇත’ යනු සංස්කාර වාදීන් ගේ මති මාත්‍රයෙකි. එබන්දක් නැති. එහෙයින් චිත්තවිප්‍ර‍යුක්ත සංස්කාරාදීන් ගේ විප්‍ර‍යුක්ත සංස්කාරයන් මෙන් කෙලෙසුන් ගේ විප්‍ර‍යුක්ත  බව හෝ වේ.

 

ඒ එසේමැ යි:- චිත්ත විප්‍ර‍යුක්ත වූ ප්‍ර‍ත්‍යුත්පන්න ක්ලේශයන් නම් නැත. (අරූප ධර්‍මයෝ එකවස්තුකදාදී භාවයෙන් පවත්නා ක්‍ෂණ මාත්‍ර‍වැ පර්‍ය්‍යා පන්නයෝ ප්‍ර‍ත්‍යුත්පන්න නම් වෙති. ඔහු කෙසේ චිත්තය හා විප්‍ර‍යුක්ත වෙද්දී එහෙයින් ක්ලේශයන් ගේ විප්‍ර‍යුක්තතා නැත යනු භාව යි.)

 

මේ අස්ථාන චෝදනාවක් නො වේ. පාළියෙහි ම එන හෙයිනි.

 

ඒ මෙසේ යි:- (යචායං කිලෙසෙ පජහති) අතීතෙ කිලෙස පජහති. අනාගතෙ කිලෙසෙ පජහති. පච්චුප්පන්නෙ කිලෙස පජහති[806] ‘යමෙක් කෙලෙස් පහකෙරේ නම් හෙතෙමේ අතීත කෙලෙස් පහ කෙරේ ද අනාගත කෙලෙස් පහ කෙරේ ද, ප්‍ර‍ත්‍යුත්පන්න කෙලෙස් පහ කෙරේ ද, මෙසේ කියා නැවත “හඤ්චි අතීතෙ කිලෙසෙ පජහති. අත්‍ථංගතං අත්‍ථංගමෙති. අතීතං ය නත්‍ථි තං පජහති.”1 ‘ඉදින් අනාගත කෙලෙස් ප්‍ර‍හීණ කෙරේ නම් නූපන් කෙලෙස් ප්‍ර‍හීණ කෙරේ. හට නො ගත් කෙලෙස් ප්‍ර‍හීණ කෙරේ අනුත්පන්න කෙලෙස් ප්‍ර‍හීණ කෙරේ. පහළ නොවූ කෙලෙස් ප්‍ර‍හීණ කෙරේ. අනාගත වූ යමක් නැත්නම් ඒ නැත්තක් ප්‍ර‍හීණ කෙරේය යි, කියා “න අනාගතෙ කිලෙසෙපජහති”1 ‘අනාගත කෙලෙස් ප්‍ර‍හීණ නො කෙරේය යි’ ප්‍ර‍තික්‍ෂේප කරන ලදි. එසේම “හඤ්චී පච්චුප්පන්තෙ කිලෙසෙ පජහති තෙනහි රත්තො රාගං පජහති. දුට්ඨො දොසං - මූළ්හො මොහං- විනිබද්ධො මානං- පරාමට්ඨො දිඨිං- වික්ඛෙපගතො උද්‍ධච්චං - අනිට්ඨං ගතො විචිකිච්ඡා- ථාමගතො අනුසයං පජහති. කණ්හාසුක්කධම්මා යුගනන්‍ධා වත්තන්ති. සංකිලෙසිකා මග්ගභාවනා හොති1 ‘ඉදින් ප්‍ර‍ත්‍යුත්පන්න කෙලෙස් ප්‍ර‍හාණය කෙරේ නම් රාගයෙන් රත්වූයේ ම රාගය පහ කෙරේ. ද්වේෂයෙන් දූෂිත වූයේ ද්වේෂය පහ කෙරේ. මෝහයෙන් මුළාවූයේ මෝහය දුරු කෙරේ. මානයෙන් දැඩි සිත් ඇත්තේ මානය දුරු කෙරේ. මිථ්‍යාභිනිවෙශ ඇත්තේ මිථ්‍යාදෘෂ්ටිය දුරු කෙරේ. වික්‍ෂෙප වූයේ උද්ධච්චය දුරු කෙරේ. නිශ්චයට නො පැමිණියේ විචිකිච්ඡාව දුරු කෙරේ. (කෘෂ්ණ - ශුකල) කුශල- අකුශල ධර්‍මයෝ යුගලවැ බැඳි එක්වැ පවතිත්. මාර්‍ගභාවනාව සකිලුටු වේ’ ය යි කියා.

 

‘න අතීතෙ කිලෙස පජහති. න අනාගතෙ- නං පච්චුප්පන්තෙ කිලෙස පජහති” අතීත කෙලෙස් පහ නො කෙරේ. අනාගත කෙලෙස්- ප්‍ර‍ත්‍යුත්පන්න කෙලෙස් පහ නො කෙරේ. ය යි සියල්ල ප්‍ර‍තික්‍ෂේප කොට “තෙනහි නත්‍ථි මග්ගභාවනා නත්‍ථි ඵලසච්ඡිකිරියා නත්‍ථි කිලෙසප්පහා නං නත්ථි ධම්මාභිසමයො”1 ‘එසේ වන්නා හා මාර්‍ග භාවනා නැති. ඵල ප්‍ර‍ත්‍යක්‍ෂ කිරීමෙක් නැති. ක්ලේශ ප්‍ර‍හාණයෙක් නැති. ධර්‍මාවබෝධයෙක් නැති යි’ අවසන්හි “නහි නත්‍ථි මග්ගභාවනා -පෙ- නහි නත්‍ථි ධම්මභි සමයොති”[807] ‘මාර්‍ග භාවනා නැත්තේ නො වෙයි. -පෙ- ධර්‍මාවබෝධය නැත්තේ නො වෙයි.’ කියා සතර තන්හි කළ ප්‍ර‍තික්‍ෂේපය, ප්‍ර‍තික්‍ෂේප කර යි. ක්ලේශ ප්‍ර‍හාණය ඇති බව ප්‍ර‍තිඥා කොට හෙත් කුමක් මෙන්දැ යි විචාළ කලැ මේ කියන ලදි.

 

නිදර්‍ශනයෙකි:- මේතාක් ගෙඩි හට නො ගත් තරුණ රුකෙක් වේ. එය පුරුෂයෙක් මුලින් සිඳී නම් ඒ ගසෙහි ඒ හට නො ගත් ඵල නූපන්නාහු ම නූපදිති. හට නො ගත්තාහු හට නොගනිති. පහළ නො වූවෝ ම පහළ නොවෙත්. එසේම (ඵල හට නො ගත් රුකක් මුලින් සිඳිකල මතු නූපදීමට නුසුදුසු වූ සිඳීමෙන් ම නූපන් ඵල නැසුණවුන් වන්නා සේ) මාර්‍ගභාවනාව නො කළ කල ඉපදීමට සුදුසු කෙලෙස් මාර්‍ගභාවනාවෙන් නූපදින හෙයින් ප්‍ර‍හීණ නම් වේ. කෙලෙස් ඉපදීමට උත්පත්තිය ම හේතු වේ. උත්පත්තිය ප්‍ර‍ත්‍යය වේ. ඒ උත්පත්තියෙහි ආදීනව දැක (අනුත්පාදයෙහි) නිර්‍වාණයෙහි සිත පිවිසේ. එසේ නිවනෙහි සිත පිවිසි හෙයින් ඉපදීම හේතු කොට වන්නා වූ කෙලෙස් නූපදනවුන් ම නූපදනා හෙයින් ප්‍ර‍හීණ නම් වේ. පහළ නුවුවෝ ම පහළ නො වෙති. මෙසේ හේතු නිරෝධයෙන් දුඃඛ නිරෝධය වේ.

 

උපාදානස්කන්‍ධයන් ගේ පැවැත්ම කෙලෙස් ඉපදීමට හේතු වේ. -පෙ- සංස්කාර නිමිත්ත කෙලෙස් ඉපදීමට හේතු වේ. ආයුහනය කෙලෙස් ඉපදීමට හේතු වේ. අනායුහනයෙහි (නිර්‍වාණයෙහි) සිත පිවිසි බැවින් පින් පව් රැස් කිරීම් හේතුවෙන් උපදනා කෙලෙස් වේ නම් ඒ හට නො ගත් කෙලෙස් ම හට නො ගනී. පහළ නො වූ කෙලෙස් ම පහළ නො වේ. මෙසේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධය වේ.

 

මෙසේ වන්නා හා මාර්‍ග භාවනා ඇති. ඵල ප්‍ර‍තිවේධය ද ඇති. ක්ලේශ ප්‍ර‍හාණය ද ඇති. ධර්‍මාවබෝධය ඇති. (මේ පරවාදීහට පිළිතුරු යැ.)

 

ප්‍ර‍ශ්න:- “අජාතායෙව න ජායන්ති” යන්නෙන් කුමක් දැක්වී ද

 

පිළිතුර:- භූමින් ගේ වශයෙන් ලැබූ කෙලෙස් පහ කිරීම දක්වන ලදී.

 

විස්තර:- භූමි නම් විදර්‍ශනා ප්‍ර‍ඥාවට අරමුණ වූ උපාදානස්කන්‍ධ පඤ්චකය යි. පැවැත්මට ස්ථාන වශයෙන් ලැබූ ක්ලේශ භූමිලද්ධ නමි.

 

ප්‍ර‍ශ්න:- ඒ භූමිලද්ධයෝ, අතීත - අනාගතයේ ද නැතහොත් වර්‍තමානයේ ද

 

පිළිතුර:- ඒ ක්ලේශයෝ භූමිලබේධාත්පන්නයෝ ම ය. වර්‍තමානාදි උත්පන්නයනට විධුර (ප්‍ර‍තිපක්‍ෂ) හෙයිනි.

 

විස්තර:- උත්පන්න ධර්‍මය තෙමේ (1) වර්‍තමාන උත්පන්නය, (2) භුත්‍වාපගත (ඇතිවැ - නැතිවී) උත්පන්නය, (3) අවාකාශකෘත උත්පන්නය (4) භුමිලබ්ධ උත්පන්නය යන මොවුන්ගේ වශයෙන් අනේක විධ යැ.

 

ඔවුන් අතුරින් (1) උත්පාද - ජරා - භඞ්ගයෙන් යුතු වූ සියලු නාම-රූප වර්‍තමාන උත්පනනයැ.

 

(2) ආලම්බන රස අනුභව කොට නිරුද්ධ වූ අනුභූත්‍වාපගත නම් වූ කුසල් අකුසල් ද උත්පාදාදී ක්‍ෂණත්‍ර‍යයට පැමිණ නිරුද්‍ධ වූ කුශලාකුශලයෙන් පිටත් සෙසු සඞ්ඛතය ද භූත්‍වාපගතොත්පන්න නම් වේ.

 

(3) යානිස්ස තානි පුබ්බෙකතානි කම්මානි ‘ඔහු පෙර කරන ලද කර්‍ම’ යනාදීන් කී කර්‍මය අතිතවූයේම අනෙක් විපාකයන් ප්‍ර‍තිබාහණය කොට තමා ගේ විපාකයට අවකාශ කොට සිටින හෙයින් එසේ කරන ලද අවකාශ ඇති විපාකය ද මෙසේ අවකාශ කළ කල්හි ඒකාන්තයෙන් උපදනා හෙයින් අවකාශකෘත උත්පන්න යැ.

 

විස්තර:- විපාක දීමට අවකාශ කිරීම් වශයෙන් උපදවන ලද අතීත කර්‍මය ද, එයින් උපදනට සිටි අනාගත විපාකය ද ඔකාසකතුප්පන්නය යි.

 

(4) ඒ ඒ භූමියෙහි (මනුෂ්‍ය-දිව්‍යාදි ආත්මභාව සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයෙහි) නො නසන ලද අකුශලය භුමිලබ්ධොත්පන්න නමි. අසමුහත හෙයින් ම නැතැ යි නො කිය හැකි බැවිනි.

 

මේ භූමි ලද්ධයෙහි භූමිය කිම? භූමි ලද්ධය කිමැ යි උපදනා සැකය පසිඳුනා සඳහා භුමි නම් විදර්‍ශනාවට අරමුණු වූ පඤ්චස්කන්‍ධයැ. ඒ පඤ්චස්කන්‍ධයෙහි උපදනට සුදුසු කෙලෙස් සමූහය භුමි ලද්ධ නමි. ඒ භුමි ලද්ධය ද අරමුණට කිරීම් වශයෙන් නො වේ. අරමුණු කිරීම් වශයෙන් වනාහි සියලු අතීත-අනාගත ස්කන්‍ධයන් අරමුණු කොට කෙලෙස් උපදී. රහතුන් ගේ පරිඥාත ස්කන්‍ධයන් අරභයා ක්ලේශ උපදී. මහාකාත්‍යාන, උත්පලවර්‍ණා ආදීන් ගේ ස්කන්‍ධයන් අරභයා සොරය්‍ය සිටු, නන්‍දමානවක ආදීන්ට කෙලෙස් උපන්නා සේ යැ. අන්‍ය සන්තානගත ක්ලේශ ජාතය අන්‍ය සන්තානයෙකැ අරමුණු කිරීම් මාත්‍රයෙකින් භූමි ලද්ධ වන්නේ නම්, පර සන්තතිපතිත ඒ ක්ලේශ ජාතය අප්‍රහෙය බැවින් කිසිවෙක් භව මූල්‍ය පජහලය නො කරන්නේ යි.

 

වස්තු (උත්පත්තිස්ථාන) වශයෙන් භුමිලද්ධය යි දත යුතු.

 

යම් යම් භවයෙකැ හෝ සන්තානයෙකැ හෝ පරිඥාත භූමි වශයෙන් අපරිඥාත ස්කන්‍ධයෝ උපදිත් නම් ඒ ඒ භවයෙහි හෝ සන්තානයෙහි හෝ ඉපදීමෙහි පටන් ඒ ස්කන්‍ධ විෂයෙහි සසර මුල් කෙලෙස් රැස් අප්‍ර‍හීණ බැවින් අනුශයිත වේ.

 

ඒ ක්ලේශ ජාතය ප්‍ර‍හීණ නො කළ හෙයින් භුමිලද්ධය යි දතයුතු. ඒ ස්කන්‍ධ විෂයෙහි අප්‍ර‍හීණාර්‍ථයෙන් අනුශයිත කෙලෙස්හු වෙද් ද ඒ පුද්ගලයා ගේ ඒ ස්කන්‍ධයෝ ඒ කෙලෙසුන්ට වස්තුවෙති. අනුන් සන්තක වූ ස්කන්‍ධයෝ වස්තු නො වෙති. අතීත ස්කන්‍ධ විෂයෙහි ද අප්‍ර‍හීණ වූ අනුශයිත ක්ලේශයනට අතීත ස්කන්‍ධයෝ ම වස්තු වෙති. ප්‍ර‍ත්‍යුත්පන්න (වර්‍තමාන) ස්කන්‍ධයෝ වස්තු නො වෙති. අනාගතාදියෙහි ද මෙසේමැ යි. එසේම කාමාවචර ස්කන්‍ධ විෂයෙහි අප්‍ර‍හීණ අනුශයිත ක්ලේශයනට කාමාවචර ස්කන්‍ධ යෝ ම වස්තු වෙති. රූපාවචර- අරූපාවචර ස්කන්‍ධයෝ වස්තු නො වෙත්. රූපාවචර අරූපාවචර ස්කන්‍ධ විෂයෙහි ද මෙම නය යි.

 

සෝවාන් ආදීන් අතුරෙහි යම් යම් ආර්‍ය්‍ය පුද්ගලයකු ගේ ස්කන්‍ධ විෂයෙහි ඒ ඒ වට්ටමුල අනුශය ක්ලේශ ජාතය ඒ ඒ මගින් ප්‍ර‍හීණ වූයේ නම් ඒ ඒ ආර්‍ය්‍යපුද්ගලයාගේ ඒ ඒ ස්කන්‍ධ ප්‍ර‍හීණ වූ ඒ ඒ වට්ටමුල ක්ලේශයනට වස්තු නො වන හෙයින් භුමිය යන ව්‍යවහාරය නො ලබයි.

 

සර්‍වප්‍ර‍කාරයෙන් පුහුදුන් ගේ වට්ටමූල කෙලෙස් අප්‍ර‍හීණ බැවින් කරනු ලබන චෙතනා - චෛතසික භේද ඇති යම්කිසි කර්‍මයක් කුසල් හෝ අකුසල් වේ. මෙසේ අප්‍ර‍හීණ අනුශය ඇති හෙයින් ඒ පුහුදුන්හට කර්‍ම ක්ලේශ ප්‍ර‍ත්‍යයෙන් සංසාර වෘත්තය පවතී. ඒ පුහුදුන් ගේ ඒ වට්ටමූලය රූපස්කන්‍ධයෙහි ම වේ. වේදනා ස්කන්‍ධාදියෙහි නො වේය යි ද, විඥානස්කන්‍ධයෙහි ම හෝ, රූපස්කන්‍ධායෙහි නො වෙයි කියා හෝ නො කිය යුතු යි. අවිශේෂයෙන් පඤ්චස්කන්‍ධයෙහි ම අනුශයිත හෙයිනි.

 

නිදර්‍ශන:- ගසෙකැ පෘථිවි ආදී රස මෙනි. මහා රුකක් පොළෝ තෙලෙහි පිහිටා පෘථිවි රසය ද, ආපෝ රසය ද, මුල- කඳ- සාඛා- කුඩා සාඛා- වෙළෙප්- ළපලු- පත්‍ර‍- මල්- පල යන මොවුන් ගේ වැඩී අහස් කුස පුරා කල්පාවසානය දක්වා බීජ පරම්පරාවෙන් රුක් පරපුර ගටමින් සිටි කලැ ඒ පඨවි රසාදිය මුලෙහිම ය, කඳ ආදියෙහි නො වේය යි හෝ ඵලයෙහි ම ය. මුලාදියෙහි නො වේය යි හෝ නො කිය යුතු යි.

 

කවර හෙයින් ද යත්:- අවිශේෂයෙන් සියලු මුල් ආදියෙහි අනුගත හෙයිනැ යි දතයුතු.

 

යම් සේ ඒ රුකෙහි මල්-කොළ ආදියෙහි කළකිරුණු යම්කිසි පුරුෂයෙක් සතර දිසායෙහි මඩුකටු නම් විෂ කටු ගසාද එකල ඒ ගස විෂයෙන් ස්පර්‍ශ කරන ලදුවැ පෘථිවි රස ආපොරසයන් ක්‍ෂය වූ හෙයින් නො උපදනා ස්වභාවයට පැමිණ නැවැතැ රුක් පරපුර ඉපදවීමට අපොහොසතක් වන්නා සේ ස්කන්‍ධ ප්‍ර‍වෘත්තියෙහි කළකිරුණු කුලපුත්‍ර‍ තෙමේ ඒ රුකෙහි සතර අතින් විෂකටු යෙදීම මෙන් තමා සතන්හි සතර මාර්‍ග භාවනා ආරම්භ කරයි. එකල ඒ පුරුෂයා ගේ ස්කන්‍ධ පරපුර ඒ සතර මාර්ග නැමැති විෂ ස්පර්‍ශයෙන් සසරවට මුල් වූ අනුෂය ක්ලේශයන් ප්‍ර‍හීණ වූ හෙයින් ක්‍රියාභාව මාත්‍ර‍යට පැමිණි කාය කර්‍මාදි සියලු කර්‍මප්‍රභෙද ඇතිවැ මත්තෙහි නැවැතැ (භවය) නො උපදවන සුලු බවට පැමිණ භවාන්තර සන්තතිය ඉපදවීමට අපොහොසත් වේ. හුදෙක් අවසාන චුති චිත්ත නිරෝධයෙන් දර නැති ගින්න මෙන් ප්‍ර‍හීණ උපාදාන ඇත්තේ කිසිවක් නො ගන්නේ පිරිනිවේ. මෙසේ භූමියෙහි හා භුමි ලද්ධයෙහි විශේෂය දතුයුතු.

 

තවද සමුදාචාරය, ආරම්මණාධිග්ගහිතයැ, අවික්ඛමහිතයැ, අසමුහතයැ යන මොවුන් ගේ වශයෙන් උත්පන්නය චතුර්විධ යි.

 

ඔවුනතුරින් වර්‍තමාන උත්පන්නය සමුදාචාර උත්පන්න නමි. චක්‍ෂුරාදියට අරමුණු හමු වූ කල්හි පූර්‍වභාගයේ ප්‍ර‍වෘත්ත ජවන වාරයෙහි නො උපදනා වූ ක්ලේශ ජාතය අරමුණු දැඩිකොට ගත් හෙයින් ම මෑත භාගයෙහි නියමයෙන් උපදනා බවින් ආරම්මණාධිග්ගහිත උප්පන්නය යි කියනු ලැබේ.

 

නිදර්‍ශන:- කැලණිගම පිඬු පිණිස හැසුරුණු මහාතිස්ස තෙරුන්ට විෂභාග රූප දර්‍ශනයෙන් උපන් ක්ලේශ ජාතය මෙනි. (මහාතිස්ස තෙරණුවෝ දවල් නිමිත්ත ග්‍ර‍හණය කළ අරමුණෙහි රාත්‍රියෙහි බලවත්වැ උපන් කෙලෙස් විෂ්කම්භනය කොට රහත්වූහ.)

 

සමථ - විදර්‍ශනා භාවනා දෙක අතුරින් එකකින් නො මැඩි කෙලෙස් රැස් චිත්තසන්තතියට නො නැගි නමුදු ක්ලේශොත්පත්තිය වළක්වන හේතුවක් නැති හෙයින් අවික්ඛම්හිතුප්පන්න නම් වේ.

 

සමථ - විදර්‍ශනා වශයෙන් විෂ්කම්භනය කළ කෙලෙස් ද ආර්‍ය්‍යමාර්‍ගයෙන් නො නැසු හෙයින් (උපදනා ස්වභාවය නො ඉක්ම වූ හෙයින්) අසමුහතුපන්නය යි කියනු ලැබේ.

 

නිදර්‍ශන:- අහසින් යන අට සමවත් ලද තෙරුන්ට මල් පිපි රුක් ඇති උයනෙකැ මල් නෙලමින් මිහිරි හඬින් ගායනා කරන මාගමක ගේ ගීත ශබ්දය ඇදීමෙකින් උපන් ක්ලේශ ජාතය මෙනි.

 

ආරම්මණාධිග්ගහිතුප්පන්න යැ, අවික්ඛමහිතුප්පන යැ, අසමුහතුප්පනන්නයැ යන ත්‍රිවිධ උත්පන්නය ම භුමිලබෙධාත්පන්නයෙන් ම එකට සංග්‍ර‍හ වේයයි දතයුතු.

 

මෙසේ උක්ත ප්‍රභේද ඇති මේ උත්පන්නයෙහි වර්‍තමානයැ, භුත්‍වාපගතයැ, අවකාශකෘතයැ, සමුදාචාරයැ යි කියන ලද චතුර්විධ උත්පන්නය මාර්‍ග වධ්‍ය නො වන හෙයින් සතර මඟ නුවණ අතුරින් කිසියම් නුවණෙකින් පහ කළ යුතු නො වේ.

 

‘භුමිලද්ධයැ, ආරම්මණාධිග්ගහීතයැ, අවික්ඛම්හිත යැ, අසමුහත යැයි කියන ලද ඒ චතුර්විධ උත්පන්නයා ගේ ඒ උත්පන්න භාවය විනාශ කරමින් ඒ ඒ ලෞකික - ලෝකෝත්තර ඥාන උපදින හෙයින් සියල්ල ප්‍ර‍හාතව්‍ය වේය යි’ මෙසේ මෙහි යම් මාර්‍ගඥානයකින් යම් ක්ලේශයක් ප්‍ර‍හාතව්‍ය නම් ඔවුන් ගේ ප්‍ර‍හාණය ද දතයුතු.

 

මාර්‍ගාවබෝධකාලයෙහි පරිඥා - ප්‍ර‍හාණාදි වශයෙන් කියන ලද කෘත්‍යය ද, අවිපරීත ස්වභාවයෙන් දතයුතු.

 

ඒ මෙසේයි:- චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කරන කාලයෙහි මේ සතර ඤාණයන් අතුරින් එක් ඤාණයක ගේ පරිඤ්ඤාපහාන - සච්ඡිකිරියා - භාවනාය යි කියන ලද මේ සතර-සතර කෘත්‍යය තතු සේ දතයුතුයි.

 

පැරැණියෝ ඒ මෙසේ කීහ: පහන ඉදිරි පසු නොවී එකවට වැටිය දැවීමයැ, අඳුරු දුරු කිරීමයැ, ආලෝකය පැතිරවීමයැ, තෙල් ක්‍ෂය කිරීමයැ යන කෘත්‍ය සතරක් කරන්නා සේ, මාර්‍ගඥානය ද පෙර පසු නොවී එක ක්‍ෂණයෙහි දුක පරිඤ්ඤාභිසමය (පිරිසිඳ දැනීම්) වශයෙන් ද, සමුදය ප්‍ර‍හාණභිසමය වශයෙන්ද, මාර්ගය භාවනාභිසමය වශයෙන් ද, නිර්වාණය ප්‍ර‍ත්‍යක්‍ෂාභිසමය වශයෙන් ද අවබෝධ කෙරේ.

 

නිර්ණය - ‘නිර්‍වාණය අරමුණු කොට චතුරාර්‍ය්‍ය සත්‍යයට ම පැමිණේ. චතුරාර්‍ය්‍ය සත්‍යය ම දකී. චතුරාර්‍ය්‍ය සත්‍යය ම ප්‍ර‍තිවෙධ කෙරේය යි’ මෙයින් කියන ලදි.

 

“යො භික්ඛවෙ දුක්ඛං පස්සති, දුක්ඛ සමුදයම්පි සො පස්සති. දුක්ඛ නිරොධම්පි සො පස්සති, දුක්ඛානිරොධගාමිනී පටිපදම්පි සො පස්සති[808] ‘මහණෙනි! දුක දන්නා මහණ තෙමේ දුඃඛසමුදය ද, දුඃඛනිරෝධය ද, දුඃඛනිරෝධගාමිනිප්‍ර‍තිපදාව ද දන්නේය’යි එයින් වදාළහ.

 

මේ ක්‍ර‍මයෙන් දුඃඛසමුදය දක්නේ දුක ද දකී යනාදී සියල්ල නය විසින් දතයුතු.

 

තවද “මග්ගසමඞ්ගිස්ස ඤාණං දුක්ඛෙපෙතං ඤාණං, දුක්ඛ සමුදයෙපෙතං ඤාණං, දුක්ඛානිරොධො පෙතං ඤාණං, දුක්ඛ නිරොධ ගාමිනියාපටිපදායපෙතං ඤානං”[809] ‘මාර්‍ගසමංගීහු ගේ යම් ඤාණයෙක් වේ නම් ඒ ඤාණය දුඃඛයෙහි ද වේ. දුක්ඛ සමුදයෙහි ද වේ. දුඃඛනිරොධයෙහි ද වේ. දුඃඛ නිරොධ ගාමිණී ප්‍ර‍තිපදායෙහි ද වේ ය’ යි මෙසේ මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ප්‍ර‍තිවේධය කාලාන්තරයෙකින් නොවැ එකවට ම වේ යයි දක්වන ලදි.

 

උපමාන උපමේය සංසන්‍දනය:- පහන වැටිය දවන්නා සේ මාර්‍ගඥානය දුක පිරිසිඳ දැන ගනී. අඳුරු නසන්නා සේ සමුදය ප්‍ර‍හාණය කෙරේ. එළිය පතුරුවන්නා සේ සහජාතාදි ප්‍ර‍ත්‍යය ඇති බැවින් සම්මා සඞ්කප්පාදි මාර්ගය වඩයි. තෙල් දවන්නා සේ කෙලෙස් ක්‍ෂය කරන නිර්‍වාණය අවබෝධ කෙරේය යි දතයුතු. 

 

තවද ක්‍ර‍මයෙකි:- ඉර උදාවන්නේ ම පෙර පසු නොවී සිවු කිසක් කරයි. රූප ගතයන් ප්‍ර‍කාශ කරයි. අඳුරු නසයි. එළිය පතුරුවයි. සීතල සංසිඳුවයි. එසේම මාර්ගඥානය ද දුක පිරිසිඳ දැනගනී. සමුදය පහ කෙරේ. සම්‍යක් සංකල්පාදී මාර්ගය වඩයි. නිර්‍වාණය (ප්‍ර‍ත්‍යක්‍ෂ) අවබෝධ කෙරේ.

 

සංසන්‍දනය:- හිරු රූප දක්වන්නා සේ මාර්‍ගඥානය දුක පිරිසිඳ දනී. අඳුරු නසන්නා සේ සමුදය පහකෙරේ. එළිය දක්වන්නා සේ සහජාතාදි ප්‍ර‍ත්‍යය භාවයෙන් මාර්‍ගය වඩයි. සීතල සංසිඳුවන්නා සේ කෙලෙස් සංසිඳුවන නිවන අවබෝධ කෙරේය යි දතයුතු.

 

තවද:- නැව පෙර පසු නොවී එකවට මෙතෙර හැරීමයැ, සැඩ පහර සිඳීමයැ, බඩු ඉසිලීමයැ, පරතෙරට පැමිණීමයැ යි සිවු කිසක් කරන්නා සේ මාර්ගඥානය ද සිවු කිසක් කෙරේ.

 

සංසන්‍දන:- නැව මෙතෙර දුරු කරන්නා සේ මාර්ගඥානය දුක පිරිසිඳී. නැව සැඩ පහර සිඳින්නා සේ මාර්ගඥානය සමුදය නසයි. නැව බඩු උසුලන්නා සේ සහජාතාදි ප්‍ර‍ත්‍යය භාවයෙන් මාර්ගය වඩයි. පරතෙරට පැමිණෙන්නා සේ නිවන ප්‍ර‍ත්‍යක්‍ෂ කරයි.

 

මෙසේ සත්‍යාවබෝධ කාලයෙහි එකවට සතර කෘත්‍යය වශයෙන් පවත්නා ඤාණය ඇති ඒ මාර්ගයට සොළොස් ආකාරයකින් පීළනාදි අවිපරිත ස්වභාවයෙන් එකවට චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍ර‍තිවේධ වේ.

 

ඒ මෙසේයි:- “කථං තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි සොළසහාකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි, දුක්ඛස්ස පීළනට්ඨො, සඞ්ඛතඨො, සන්තාපට්ඨො, විපරිණාමට්ඨො, තථට්ඨො, සමුදයස්ස ආහුහනට්ඨො, නිදානඨො, සංයොගඨො, පළිබොධඨො, තථඨො, නිරොධස්ස නිස්සරණට්ඨො, විවෙකට්ඨො, අසඞ්ඛතට්ඨො, අමතට්ඨො, තථට්ඨො, මග්ගස්ස නියානඨො, හෙතඨො, දස්සනඨො, ආධිපත්‍යෙයට්ඨො තථට්ඨො. ඉමෙහි සොළසහාකාරෙහි තථඨෙන චත්තාරි සච්චානි එකසංගහිතානි යං එකසංගහිත තං එකත්තං යං එකත්තං තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතිති චත්තාරි සච්චානි එකපටිවෙධානි[810] ‘චතුරාර්‍ය්‍ය සත්‍යය අවිපරීතාර්‍ථයෙන් කෙසේ එක ප්‍ර‍තිවේධ වේ ද සොළොස් (16) අයුරෙකින් චතුරාර්‍ය්‍ය සත්‍යය එකකින් අවබෝධ වේ. දුකෙහි පෙළීම් අර්‍ථයැ, සංඛතාර්‍ථ යැ, තැවීම් අර්‍ථ යැ, පෙරළීම අර්‍ථ යැ, තථාර්‍ථ යි. සමුදයෙහි රැස්කිරීම් අර්‍ථ යැ, නිදානාර්‍ථ යැ, සංයොගාර්‍ථ යැ, පලිබොධාර්‍ථ යැ, තථාර්‍ථ යි. නිරොධයෙහි (සසරින්) නික්මවන අර්‍ථ යැ, විවෙකාර්‍ථ යැ, අසඞ්ඛතාර්‍ථ යැ, අමෘතාර්‍ථ යැ, තථාර්‍ථ යි. මාර්ගයෙහි (සසරින්) ගෙන යන අර්‍ථ යැ, හේත්‍වර්‍ථ යැ, දර්‍ශනාර්‍ථ යැ, අධිපතිභාවාර්‍ථ යැ, තථාර්‍ථ යි. මේ සොළොස් අයුරින් අවිපරීතාර්‍ථයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය එකකින් සංගෘහිත වේය යි’ කියායි.

 

විශේෂ:- මෙහි එකකින් සංග්‍ර‍හ වීම නම් තථාර්‍ථ විසිනි. තථාර්‍ථ නම් අවිපරිතාර්‍ථය යි, සත්‍යාර්‍ථයයි, විද්‍යමාන වූ ස්වභාවාර්‍ථය යි.

 

විස්තර:- මාර්‍ගඥානය මුඛ්‍ය හෙයින් නිර්‍වාණය ම අරමුණු කෙරෙතුදු දුඃඛාදීන්හි අවිපරීත ස්වභාවය වූ සත්‍යාර්‍ථය වසාසිටි අවිද්‍යාව නසා ඒ සත්‍යාර්‍ථය තතු සේ අවබෝධ කෙරෙමින් පවතී. පසුවැ පීඩනාදි සොලොස් (16) සත්‍යාර්‍ථ ආර්‍ය්‍යයන් වහන්සේට හස්තාමලකයක් සේ ඇති සේ වැටහේ.

 

ප්‍ර‍ශ්නයෙකි:- දුඃඛාදීන්ට අනෙකුදු රෝග ගණ්ඩාදි අර්‍ථ ඇත ද කුමක් හෙයින් පීඩනාදි සතරක්ම කීයේ ද,

 

පිළිතුර:- සමුදයාදි සත්‍යාන්තර දර්‍ශන වශයෙන් ප්‍ර‍කාශවන හෙයිනි.

 

විස්තර:- දුඃඛාදි සතරෙහි ස්වභාවයෙන් යම් ආකාරයෙක් ප්‍ර‍කාශ වේ නම් ඒ පීඩනාදිය සතරක් ම වේය යි සොළසෙක්ම (16) කියන ලදී. සෙස්ස නො කියන ලදී.

 

විස්තර:- “තත්‍ථ කතමං දුක්ඛෙඤානං දුක්ඛං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජනනා”[811] ‘එහි දුක පිළිබඳව ඤානය නම් කිම? දුක අරභයා යම් ප්‍ර‍ඥාවක් උපදීද, යනාදී නයින් එකී-එකී සත්‍යාලම්බන වශයෙනුදු සත්‍යඥානය වදාරන ලදි.

 

තවද, “යො භික්ඛවෙ දුක්ඛං පස්සති සමුදයම්පිසො පස්සති” ‘මහණෙනි! යමෙක් දුක දකී යනාදි නයින් ඒක නිරෝධ සත්‍යය අරමුණු කොට සෙසු සත්‍යයන් කෙරෙහිදු කෘත්‍යය නිෂ්පත්ති වශයෙනුදු සත්‍යඥානය වදාරන ලදි.

 

මෙසේ පාළියෙහි වෙන් වෙන්වැ සත්‍යය අරමුණු කිරීම් වශයෙන් ද, කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් ද සත්‍යඥානය වදාරන ලදි. 

 

ඒ දර්‍ශනද්‍වයය අතුරින් යම් කලෙක එකි එකී සත්‍යයක් අරමුණු කෙරෙන් නම් එකල, ස්වභාවයෙන් පීඩන ලක්‍ෂණ වූ දුඃඛයාගේ සංඛතාර්‍ථය ආයුහන ස්වභාව වූ සමුදයින් රැස්කරන ලද හෙයින් ද, සකස් කරන ලද හෙයින් ද, පිඩු කරන ලද හෙයින් ද සමුදය දර්‍ශනයෙන් ප්‍ර‍කට වේ.

 

මාර්ගය ක්ලේශයන් ගේ තැවීම පහකරන හෙයින්ද, කෙලෙස් දාහ නැති බැවින් ඉතා සිහිල් හෙයින් මාර්ග දර්‍ශනයෙන් දුඃඛයාගේ සන්තාපාර්‍ථය ප්‍ර‍කාශ වේ.

 

(ආයුෂ්මත් නන්‍ද ස්ථවිරයන්ට අප්සරාවන් දැකීමෙන් සුන්දරිය ගේ අනභිරූප බව වැටහීම මෙනි.)

 

අවිපරිණාම ස්වභාවය ඇති නිරෝධය (නිර්‍වාණය) දැක්මෙන් දුඃඛයා ගේ විපරිනාමාර්‍ථය (පෙරළෙන ස්වභාවය) ප්‍ර‍කාශ වේ.

 

එසේම ස්වභාවයෙන් ආයූහන ලක්‍ෂණ ඇත්තා වූ සමුදයා ගේ නිදානාර්‍ථය දුඃඛ දර්‍ශනයෙන් ප්‍ර‍කාශ වේ. (නො සැප භෝජනයෙන් උපන ව්‍යාධිය දැකීමෙන් භෝජනයා ගේ ව්‍යාධියට නිදාන බව වැටහීම මෙනි.)

 

සංයෝගයක් නැති නිර්‍වාණය ද දැකීමෙන් සංයොගාර්‍ථය ප්‍ර‍කට වේ. නිර්‍ය්‍යාණ වූ මාර්‍ගය දැකීමෙන් පලිබොධාර්‍ථය ප්‍ර‍කාශ වේ.

 

එසේම නිස්සරණ ලක්‍ෂණ නිරෝධයා ගේ විවෙකාර්‍ථය අවිවේක වූ සමුදය දර්‍ශනයෙන් ප්‍ර‍කට වේ. මාර්ග දර්‍ශනයෙන් අසඞ්ඛතාර්‍ථය ප්‍ර‍කාශ වේ.

 

(මේ යෝගියා විසින් අනවරාග්‍ර‍ සංසාරයෙහි මාර්ගය නො දක්නා ලදි. ඒ ආර්‍ය්‍යමාර්‍ගය ද ප්‍ර‍ත්‍යය සහිත හෙයින් සඞ්ඛත නම් වේය යි අප්‍ර‍ත්‍ය වූ නිර්‍වාණ ධර්‍මයා ගේ අසඞ්ඛත භාවය ඉතාම ප්‍ර‍කට වේ) දුක් දැකීමෙන් ඒ නිරෝධයා ගේ අමෘතාර්‍ථය ප්‍ර‍කට වේ. (‘දුඃඛය විෂයැ, නිර්‍වාණය අමෘතයැ යි’ කියා යි.)

 

එසේම නිර්‍ය්‍යාණ (පැමිණවීම) ලක්‍ෂණ ඇති මාර්‍ගයා ගේ දැකීමෙන් ‘නිවණට පැමිණිමට මේ සමුදය (තෘෂ්ණාව) හේතු නො වේ. මේ ආර්‍ය්‍ය මාර්‍ගය හේතු වේය යි’ හේත්‍වර්‍ථය ප්‍ර‍කට වේ. නිරෝධ දර්‍ශනයෙන් දර්‍ශනාර්‍ථය ප්‍ර‍කට වේ. (අතිශයින් සියුම් වූ රූපයන් දක්නහුට මාගේ ඇස එකාන්තයෙන් ප්‍ර‍සන්නය යි ඇසෙහි විප්‍ර‍සන්න භාවය මෙනි. නොයෙක් රෝගාතුර කෘපණයන් (දුඃඛිතයන්) දැකීමෙන් ඉසුරුමත් ජනයා ගේ උදාර බව ප්‍ර‍කට වන්නා සේ දුක දැකීමෙන් එයට ප්‍ර‍තිපක්‍ෂ වූ අධිපති අර්‍ථය ප්‍ර‍කට වේය යි මෙසේ සේ සත්‍යාර්‍ථ අතුරින් එක එකක් පීළන ආයුහන - නිස්සරණ - නිය්‍යානාර්‍ථ වශයෙන් ස්වලක්‍ෂණයෙන් ද, ඉතිරි සඞ්ඛතාර්‍ථදි තුන් තුන් අර්‍ථයන් ප්‍ර‍කාශ (ආලම්බන) වන හෙයින් ද, එකි එකී සත්‍යයෙක්හි සතර-සතර අර්‍ථ කියන ලදි.

 

විස්තර:- දුඃඛයෙහි සංඛාර්‍ත යැ සන්තාපාර්‍ථ යැ විපරිණමාර්ථ යැ යන තුනද; සමුදයයෙහි නිදානාර්ථ යැ, සංයොගාර්ථයැ, පලිබොධාර්ථ යැ යන තුනද, නිරෝධයෙහි විවේකාර්ථ යැ, අසංඛතාර්ථ යැ, අමෘතාර්ථ යැ යන තුනද; මාර්ගයෙහි හේත්‍වර්ථ යැ, දර්‍ශනාර්ථ යැ, අධිපතිභාවාර්ථ යැ යන තුනදැ යි පෙර කී සේ මේ සොළොස් (16) අර්ථයෝ ප්‍ර‍කට වෙති.

 

මාර්ග ක්‍ෂණයෙහි මෙකී සියලු අර්ථයෝ ම දුඃඛාදීන් විෂයෙහි සිවු (4) කෘත්‍යයක් ඇති එකම ඥානයෙන් ප්‍ර‍තිවෙධයට යෙති.

 

මතාන්තර:- ‘චතුස්සත්‍යයන් නානා ක්‍ෂණයෙහි නානා ඥානයෙන් ප්‍ර‍තිවේධ කෙරෙතැ යි’ කියන්නවුනට පිළිතුරු වශයෙන් අභිධර්‍මයෙහි කථාවස්තුප්‍ර‍කරණයෙහි (මොග්ගලි පුත්තතිස්ස මහතෙරුන් වහන්සේ විසින්) වදාරණ ලදි. (ටීකාහි)

 

පරිඥාදි සතර කෘත්‍යය අතුරින්; පරිඥාව ද, ප්‍ර‍හාණය ද, ප්‍ර‍තිවේධය ද ත්‍රිවිධ වේ. භාවනා ද්විවිධ වේ.

 

ඒ මෙසේයි:- ඤාත පරිඤ්ඤාය තීරණ පරිඤ්ඤාය, පහාන පරිඤ්ඤාය, යි පරිඤ්ඤා ත්‍රිවිධ වේ. එහි “අභිඤ්ඤා පඤ්ඤා ඤාතඨෙන ඤාණං” අභිඥප්‍ර‍ඥාව දන්නා ලදය යන අර්ථයෙන් ඤාණ නම් වේය යි’ මෙසේ උදෙසා “යෙ යෙ ධම්මා අභිඤ්ඤාතා හොන්ති තෙ නෙ ධම්මා ඤාතාහොන්ති”[812] යි. යම් යම් ධර්‍මයක් අවබෝධ කරන ලද නම් ඒ ඒ ධර්‍මයෝ දන්නා ලදහයි’ මෙසේ සැකෙවින් ද,

 

සබ්බං භික්ඛවෙ අභිඤ්ඤෙය්‍යං, කිඤ්ච භික්ඛවෙ සබ්බං අභිඤ්ඤෙය්‍යං චක්ඛුං භික්ඛවෙ අභිඤ්ඤෙය්‍යං”[813] මහණෙනි! සියල්ල අවබෝධ කටයුතු යි. කවර සියල්ලක් අවබෝධ කටයුතු ද ‘මහණෙනි! චක්‍ෂුඃප්‍ර‍සාදය අවබෝධ කටයුතු යි, සේ ආදී නයින් විස්තර වශයෙන් වදාරන ලද්දි ඤාත පරිඤ්ඤා නම.

 

ඒ ඤාත පරිඤ්ඤාන ගේ ප්‍ර‍ත්‍යය සහිත නාම-රූප විශේෂයෙන් දැනීම පරිඥාන්තරයට විෂය නො වන ආවේණික භූමිය යි. “පරිඤ්ඤා පඤ්ඤා තීරණඨෙණ ඤාණං[814] පරිඤ්ඤා ප්‍ර‍ඥාව තිරණාර්ථයෙන් ඥානය යි.’ මෙසේ උදෙසා “යෙ යෙ ධම්මා පරිඤ්ඤාතා හොන්ති. තෙ තෙ ධම්මා තීරිතා හොන්ති”[815] ‘යම් යම් ධර්‍ම කෙනෙක් පරිඥාන වෙත් නම් ඒ ඒ ධර්‍මයෝ තීරණය කරන ලද්දෝ වෙත්ය යි’ මෙසේ සැකෙවින් වදාරා “සබ්බං භික්ඛවෙ පරිඤ්ඤෙය්‍යං කිඤ්ච භික්ඛවෙ සබ්බං පරිඤ්ඤෙය්‍යං චක්ඛුං භික්ඛවෙ පරිඤ්ඤෙය්‍යං”[816] මහණෙනි! සියල්ල පරිඤ්ඤෙය්‍ය යැ, මහණෙනි පරිඤ්ඤෙය්‍ය සියල් කවරේද මහණෙනි! චක්‍ෂුඃප්‍ර‍සාදය පරිඤ්ඤෙය්‍ය යැ, යනාදි නයින් විස්තර හෙයින් වදාරණ ලද්දී තීරණ පරිඤ්ඤා නම. ඒ චක්‍ෂුශකාදි කලාප සන්මර්‍ශනයෙහි පටන් අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්මයැ යි තීරණය කිරීම් වශයෙන් පවත්නා තීරණ ප්‍ර‍ඥාවට අනුලෝම ඥානය දක්වා ආවෙණික භූමිය යි.

 

පහාණෙ පඤ්ඤා පරිච්චාගට්ඨෙන ඤාණං[817] ප්‍ර‍හාණ ප්‍ර‍ඥාව කෙලෙස් බැහැර කරන හෙයින් ඤාණයයි’ මෙසේ උදෙසා “යෙ යෙ ධම්මා පහීණා හොන්ති තෙ තෙ ධම්මා පරිච්චත්තා හොන්ති”[818] යම් යම් ක්ලේශ ධර්‍ම කෙනෙක් ප්‍ර‍හීණ වෙත් නම් ඒ ඒ ක්ලේශ ධර්‍මයෝ බැහැර කරන ලදහ’යි මෙසේ විස්තර වහයෙන් කියන ලද ‘අනිච්චානුපස්සනාවෙන් නිත්‍ය සංඥාව ප්‍ර‍හාණය කෙරේ’ යනාදී ක්‍ර‍මයෙන් පැවැත්නී පහාන පරිඤ්ඤා නම. භඞ්ගානුපස්සනාවෙහි පටන් මාර්‍ගඥානය දක්වා ඒ පහාණ පරිඤ්ඤාවට භූමිය යි.

 

(නිෂ්පර්‍ය්‍යායෙන් පහාණ පරිඤ්ඤාවම මාර්ග ඥානය වේය යි මාර්‍ගඥාන භූමියයි කීහ නු ටීකායි.)

 

මේ අභිසමය කාල කෘත්‍ය විචාරණයෙහි ලා මේ ප්‍ර‍හාණ පරිශ්‍ර‍ම අදහස් කරන ලදී.

 

තවද ඤාත- තීරණ- පරිඤ්ඤාවන් ද, පහාණ පරිඤ්ඤාව පිණිස ම පවත්නා හෙයින්, ‘යම් ධර්‍මයක් ප්‍ර‍හාණය කෙරේ නම් ඒ ධර්‍මය ම ඒ කෘත්‍යයෙන් දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේය යි’ මෙසේ පරිඥා ත්‍ර‍යය ම මේ පර්‍ය්‍යායයෙන් මාර්‍ගඥානයා ගේ කෘත්‍යය යි දත යුතු යි.

 

පරිඤ්ඤා මෙන් ප්‍ර‍හාණය ද ත්‍රිවිධ වේ. විෂ්කම්භණ තදඞ්ග- සමුච්ඡෙද ප්‍ර‍හාණ වශයෙනි. ඒ ප්‍ර‍හාණයන් අතුරින් සෙවෙල් සහිත දියෙහි බහාලු කළයෙන් සෙවෙල් දුරුවීම මෙන් ඒ ඒ ලෞකික සමාධියෙක් නීවරණාදි විරුද්ධ ධර්‍මයන් විෂ්කම්භනය වීම වීෂ්කම්භණ ප්‍ර‍හාණයයි.

 

පෙළෙහි “විෂ්කම්භනප්පහාණං ච නීවරණානං පඨමංජ්ඣා නං භාවයතො[819] ‘ප්‍ර‍ථම ධ්‍යානය වඩන පුද්ගලයා ගේ නීවරණ ප්‍ර‍හාණය වේය’යි මෙසේ ධ්‍යාන බලයෙන් නීවරණයන් ගේ විෂ්කම්භණය (ඔබාලීම්) කියන ලද්දේ ප්‍ර‍කට බැවිනි.

 

ඒ එසේමැ යි:- නීවරණයෝ වනාහි ධ්‍යානයට පූර්‍ව භාගයෙහි ද, පසු භාගයෙහි ද වහා සිත නො මඩනාහු වෙති.

 

විස්තර:- ධ්‍යානයා ගේ පූර්‍වභාගය නම් ධ්‍යානය ලැබීම පිණිස පූර්‍වභාග ප්‍ර‍තිපත්තිය යි. පශ්චාද්භාගය නම් ධ්‍යානය ලැබ අන්‍ය කෘත්‍යයෙකැ යෙදීම යි.

 

විශේෂ:- විතර්‍ක- විචාර- ප්‍රීති- සුඛ- රූප සංඥාදිය ද්විතීය ධ්‍යානාදියට ප්‍ර‍තිපක්‍ෂ යැ. ද්විතීය ධ්‍යානාදියට සමවදනා කෙණෙහි ම දුරු වේ. ද්විතීය ධ්‍යානාදියට පැමිණි කෙණෙහි ම නීවරණයෝ විෂ්කම්භණය වෙති. එහෙයින් නීවරණයන් ගේ විෂ්කම්භණය ප්‍ර‍කට යි.

 

රාත්‍රියෙහි මනාව දැල් වූ පහනකින් අන්‍ධකාරය දුරු වන්නා සේ විදර්‍ශනාවට අවයව වූ ඒ ඒ ඤාණයෙන් ක්ලේශයන් ගේ ප්‍ර‍හීණ කිරීම තදඞ්ගප්‍ර‍හාණයයි. ප්‍ර‍දීපයෙන් අන්‍ධකාර මෙනැයි කී උපමායෙන් තදඞ්ග වශයෙන් ක්ලේශ ප්‍ර‍හාණය ප්‍ර‍තිපක්‍ෂ ධර්‍ම ප්‍ර‍හාණය යි.

 

ඝටයෙන් සේවාල ප්‍ර‍හාණය මෙන් විෂ්කම්භණ ප්‍ර‍හාණය නීවරණයන් ගේ ප්‍ර‍වෘත්ති මාත්‍ර‍ය වැළකීම යි. එහෙයින් ම ද්විතීය- ධ්‍යානාදියෙහි විතර්‍කාදි ප්‍ර‍හාණය පිළිබඳවැ ඒ නිදර්ශනය මනාවැ යෙදේ.

 

තවද සීලවිසුද්ධි ආදියෙනුදු තදඞ්ග ප්‍ර‍හාණය මෙසේමැ යි.

 

විස්තර:- නාම-රූප පරිච්ඡේදයෙන් පළමු කොට සත්කාය-දෘෂ්ටිය ප්‍ර‍හීණ වේ. ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හයෙන් අහේතුකදෘෂ්ටි, විෂම හේතුදෘෂ්ටීන් ගේ ද, සොළොස් (16) වැදෑරුම් කාඞ්ක්‍ෂා මලයන් ගේ ද ප්‍ර‍හාණය වේ. කලාප සන්මර්‍ශනයෙන් මම යැ මාගේ යැයි සමූහ වශයෙන් ගැනීම ද ප්‍ර‍හීණ වේ. මාර්‍ග-අමාර්‍ග ව්‍යවස්ථානයෙන් උච්ඡෙද දෘෂ්ටිය ප්‍ර‍හීණ වේ. ස්කන්‍ධයන් ගේ ව්‍යය දර්‍ශනයෙන් ශාස්වත දෘෂ්ටිය ද, භයතුපට්ඨාන ඤාණයෙන් භය සහිත පඤ්චස්කන්‍ධයෙහි අභය සංඥාව ද, ආදීනවානුදර්‍ශනයෙන් පඤ්චස්කන්‍ධයෙහි ආස්වාද වශයෙන් පැවති සංඥාව ද, නිබ්බිදානුපස්සනාවෙන් වෘත්තයෙහි ඇලීම් සංඥාව ද, මුඤ්චිතුකම්‍යතා ඥානයෙන් නො මිදෙනු කැමති බව ද, පටිසඞ්ඛාන ඤාණයෙන් ප්‍ර‍තිසඞ්ඛ්‍යානයට ප්‍ර‍තිපක්‍ෂ මෝහය ද, සඞ්ඛාරුපෙක්ඛා ඤාණයෙන් අනුපේක්‍ෂණයෙන් වන නිත්‍යග්‍රාහය ද, අනුලොම ඥානයෙන් මාර්‍ගසත්‍යාධිගමයට විලෝම වූ නිත්‍යාදිග්‍රාහයා ද ප්‍ර‍හාණය වේ.

 

තවද අටළොස් (18) මහා විදර්‍ශනාවන් අතුරින් අනිච්චානුපස්සනාවෙන් නිත්‍ය සංඥාව ද, දුක්ඛානුපස්සනාවෙන් සුඛ සංඥාව ද, අනත්තානුපස්සනාවෙන් ආත්ම සංඥාව ද, නිබ්බිදානුපස්සනාවෙන් නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ද, විරාගානුපස්සනාවෙන් රාගය ද, නිරොධානුපස්සනාවෙන් සමුදය ද, පටිනිස්සග්ගානුපස්සනාවෙන් දෘඪ ග්‍රාහය ද, ඛයානුපස්සනාවෙන් ඝන සංඥාව ද, වයානුපස්සනාවෙන් රැස්කිරීම ද, විපරිණාමානුපස්සනාවෙන් ධුව (ස්ථිර) සංඥාව ද, අනිමිත්තානුපස්සනාවෙන් නිත්‍ය නිමත්ත ද, අප්පණිහිතානුපස්සනාවෙන් සුඛ ප්‍ර‍ණිධිය ද, සුඤ්ඤතානුපස්සනාවෙන් ආත්ම ඇතැයි යන අභිනිවේශය ද, (දෘඪග්‍රාහය ද) අධිපඤ්ඤාධම්මවිපස්සාවෙන් සාර වශයෙන් දැඩි කොට ගැනීම ද, යථාභූතඥානදර්‍ශනයෙන් අතිශය මොහාභිනිවෙශය ද, ආදීනවානුපස්සනාවෙන් ආලය වශයෙන් දැඩි කොට ගැනීම ද, පටිසංඛානුපස්සනාවෙන් අප්‍ර‍තිසඞ්ඛ්‍යානය ද, විවච්චානුපස්සනාවෙන් (නිර්‍වාණදර්‍ශනයෙන්) සංයොගෝභිනිවේශය ද ප්‍ර‍හීණ වේ. මේ සියල්ල ම තදඞ්ගප්‍ර‍හාණය මැ යි.

 

විශේෂ:- ඒ අටළාස් (18) මහා විදර්‍ශනා අතුරින් අනිච්චානුපස්සනාදී සප්ත අනුපස්සනාවන් ගෙන් නිත්‍ය සංඥාදීන් ගේ ප්‍ර‍හාණය වන අයුරු භඞ්ගානුපස්සනායෙහි කියන ලද මැයි.

 

තවද ඛයානුපස්සනා නම්, ඝන විනිභොර්‍ග කොට ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍යයැයි මෙසේ ස්කන්‍ධයන් ගේ ක්‍ෂයය බලන්නහුගේ ඥානය යි. ඒ ඥානයෙන් ඝන සංඥාව ප්‍ර‍හීණ වේ.

 

වයානුපස්සනා නම්, දිට්ඨ ආරම්මණය අනුව යෑමෙන් දිට්ඨ අදිට්ඨ අරමුණු දෙක මම ක්‍ෂණ භඞ්ග වශයෙන් ඒක ව්‍යවස්ථා කිරීම ද, නිරෝධයෙහි අධිමුක්ත බව ද, සංස්කාරයන් ගේ නිරෝධය දැක එයින් මිදෙනු කැමැති අදහස් ඇති බව ද යන ව්‍යය ලක්‍ෂණ විදර්‍ශනායි. මෙසේ ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් ද, අනුමාන වශයෙන් ද, සංස්කාරයන් ගේ භඞ්ගය දැක භඞ්ග නම් වූ එම නිරෝධයෙහි ම මිදීම් වශයෙන් අදහස් ඇති බැවින් ඒ අධිමුක්ති ඥානයෙන් අභිසංස්කාරයා ගේ ප්‍ර‍හාණය වේ.

 

ඒ මෙසේයි:- යමක් පිණිස රැස් කරන්නෝ නම් ඒ සංස්කාරයෝ මෙසේ ක්‍ෂය වෙත් ය යි බලන්නාහට රැස් කිරීමට සිත නො නැමේ.

 

විපරිණාමානුපස්සනා නම්, යට කී රූප සප්තකාදීන් ගේ වශයෙන් ආදාන - නික්ඛේපාදි ඒ ඒ පරිච්ඡේද ඉක්ම අන්‍යාකාර ප්‍ර‍වෘත්ති දැක්වීම යි. නොහොත් උපන් සත්ත්‍වයන් ගේ ජරාවෙන් ද, මරණයෙන්දැ යි දෙයාකාරයකින් විපරිණාම දැක්වීමයි. එයින් ස්ථිර භාවයෙන් ගැනීම ප්‍ර‍හීණ වේ.

 

අනිමිත්තානුපස්සනා නම්, අනිත්‍යානුදර්‍ශනය මැයි. එයින් නිත්‍ය නිමිත්ත ප්‍ර‍හීණ වේ.

 

අප්පණිහිතානුපස්සනා නම්, දුඃඛානුදර්‍ශනය මැයි. එයින් සුඛ ප්‍ර‍ණිධිය (සුඛ ප්‍රාර්ථනාව) ප්‍ර‍හාණය වේ.

 

සුඤ්ඤතානුපස්සනා නම්, අනාත්මානු දර්‍ශනය මැයි. එයින් ආත්මයක් ඇතැයි අභිනිවෙශය (දෘඪග්‍රාහය) ප්‍ර‍හීණ වේ.

 

අධිපඤ්ඤාධම්ම විපස්සනා නම්, රූපාදි අරමුණු දැකීම ද, ප්‍ර‍ත්‍යවේක්‍ෂා කිරීම ද, භඞ්ගය දැකීම ද, ශුන්‍ය වශයෙන් වැටහීම ද, නොහොත් ශුන්‍යතාව ද, එළඹ සිටි සිහිය ද අධිඤ්ඤා විපස්සනා යි. මෙසේ කී රූපාදි අරමුණු දැන ඒ අරමුණෙහි ද, ඒ අරමුණු කොට පවත්නා සිතෙහි ද භඞ්ගය දැක සංස්කාරයෝ බිඳෙති. සංස්කාරයන්ගේම මරණය වේ. අන්‍ය වූ කිසි සත්ත්‍ව පුද්ගලාදියෙක් නැතැ යි භඞ්ග විසින් ශුන්‍යතාව ගෙන පවත්නා විදර්ශනාව අධිපඤ්ඤාධම්මවිපස්සනා නමැ යි කියනු ලැබේ.

 

ඒ අධිපඤ්ඤාධම්මවිපස්සනායෙන් නිත්‍ය සාරයක් නැති බව ද, ආත්ම සාරයක් නැති බව ද මොනවට දක්නා ලද හෙයින් සාරාදානාභිවේශය (දැඩිකොට ගැනීම) ප්‍ර‍හාණය වේ.

 

යථාභූතඤාණදස්සනය නම්, ප්‍ර‍ත්‍යය සහිත නාම-රූප පරිග්‍ර‍හයයි. ඒ ඥාන දර්‍ශනයෙන් “මම අතීත කාලයෙහි වූ යේ ද” යනාදී වශයෙන් පැවැති සොළොස් (16) වැදෑරුම් වූ ද, “ඊශ්වරයකුගෙන් ලෝකය හට ගැනේ” යනාදීන් පැවතියා වූ ද සම්මෝමාභිනිවේශය ප්‍ර‍හාණය වේ.

 

ආදිනවානුපස්සනා නම්, භයතුපට්ඨාන වශයෙන් උපන් සියලු භවාදීන්හි ආදීනව දක්නා නුවණයි. එයින් ඇලිය යුතු කිසිවක් නො පැනේය යි ආලයාභිනිවේශය ප්‍ර‍හීණ වේ.

 

පටිසඞ්ඛානුපස්සනා නම්, භවයෙන් මිදීමට කරන උපාය පටිසඞ්ඛා ඤාණය යි. එයින් අප්පටිසඞ්ඛා නම් වූ මෝහය ප්‍ර‍හීණ වේ.

 

විවට්ටානුපස්සනා නම්, සඞ්ඛාරුපෙක්ඛා ඤාණය හා අනුලොම ඤාණය යි.

 

ඒ මෙසේ යැ:- එකලැ ඒ යෝගීහු ගේ සිත මඳක් නැමුණු පියුම් පතෙකැ දියත්තක් සේ සියලු සංස්කාරයෙන් හැකිළෙයි. පෙරළෙ යි. නැවැතැ පෙරළේ යි කියන ලදි. එහෙයින් ඒ නුවණින් සංයෝගාභිනිවේශය ප්‍ර‍හීණ වේ. කාමසංයොගාදි ක්ලේශාභිනිවෙශය - ක්ලේශ ප්‍ර‍වෘත්තිය ප්‍ර‍හීණ වේ යන අර්‍ථයි.

 

මෙසේ විස්තර වශයෙන් තදඞ්ග ප්‍ර‍හාණය දතයුතුයි. පාළියෙහි තදඞ්ග ප්‍ර‍හාණය නම් - නිර්‍වෙධභාගීය විදර්‍ශනා සමාධිය වඩන්නාහු ගේ මිථ්‍යා දෘෂ්ටිය තදඞ්ග වශයෙන් ප්‍ර‍හීණ වේය යි සැකෙවින් කියන ලදි.

 

අකුණෙන් හෙණ පහරක් ලද රුකක් මෙන් ආර්‍ය්‍යමාර්‍ග ඥානයෙන් සංයෝජනාදි ධර්‍මයන් නැවැත නො පවත්නා සේ ප්‍ර‍හීණ වීම සමුච්ඡෙද ප්‍ර‍හාණය නම් වේ. ඒ සඳහා “ක්‍ෂයගාමීනම් ලෝකෝත්තර මාර්‍ගය වඩන යෝගීහට සමුච්ඡෙද ප්‍ර‍හාණය වේ”[820] ය යි කියන ලදී.

 

මෙසේ මේ ත්‍රිවිධ ප්‍ර‍හාණයන් අතුරින් සමුච්ඡෙද ප්‍ර‍හාණයම මේ ඥානදර්‍ශන විශුද්ධියෙහි නොහොත් අභිසමය කාලයෙහි අධිප්‍රේත යි.

 

තවද ඒ යෝගීහට මාර්‍ගයට පූර්‍වභාගයෙහි තදඞ්ග විෂ්කම්භණ ප්‍ර‍හාණයෝ ද, සමුච්ඡෙද ප්‍ර‍හාණය ප්‍රයෝජන කොට පවත්නාහු යි. එහෙයින් ප්‍ර‍හාණත්‍ර‍ය ම මේ ක්‍ර‍මයෙන් මාර්ගඥානයා ගේ කෘත්‍යය යි දතයුතු.

 

නිදර්‍ශන:- සතුරු රජකු නසා රාජ්‍යයට පැමිණි රජකු විසින් රාජ්‍යයට පැමිණීමට පෙරැ කරන ලද පසල්දනවු මැඩීම ආදිය ද රජහු විසින් ම කරන ලදැයි කියන්නාක් මෙනි.

 

විශේෂ:- සාක්‍ෂාත් කිරීම ද, ලෞකික සාක්‍ෂාත් කිරීම යැ, ලෝකෝත්තර සාක්‍ෂාත් කිරීම යැ යි දෙ පරිද්දෙකින් භින්නවූයේ ද ලෝකෝත්තර සාක්‍ෂාත් කිරීම දර්‍ශන-භාවනා විසින් දෙපරිදි වන බැවින් සාක්‍ෂාත් කාරණය ත්‍රිවිධම වේ.

 

ඒ මෙසේයි:- එහි ‘ප්‍ර‍ථමධ්‍යානය ලැබුවෙමි, වසඟ කෙළෙමි, ඒ මා විසින් සාක්‍ෂාත් කරන ලදැයි’ යි යනාදීන් ආ සේ ප්‍ර‍ථම ධ්‍යානාදිය ස්පර්‍ශ කිරීම ලෞකික සාක්‍ෂාත් කිරීම යි.

 

විශේෂ:- (ඵුසනා) ස්පර්‍ශ කිරීම නම් අධිගම කොට ‘මෙය මා විසින් අධිගතය යි’ ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් ආලම්බන කිරීම සඞ්ඛ්‍යාත ඤාණයෙන් ස්පර්‍ශ කිරීම යි. (මින් අනුමානයෙන් ආලම්බනය කිරීම වළකා)

 

මේ සඳහාම “සච්ඡිකිරියා පඤ්ඤා ඵුසනට්ඨෙන ඤාණං[821] ‘සාක්‍ෂාත් කිරීමේ ප්‍ර‍ඥාව ස්පර්‍ශ කිරීම් අර්‍ථයෙන් ඥානය යි’ උදෙසා “යෙ යෙ ධම්මා සච්ඡිකතා හොන්ති තෙ නෙ ධම්මා ඵස්සිතා හොන්ති1 ‘යම් යම් ධර්‍ම කෙනෙක් ප්‍ර‍ත්‍යක්‍ෂ කරන ලදහු නම් ඒ ඒ ධර්‍මයෝ ස්පර්‍ශ කරන ලදහ’ යි සාක්‍ෂාත් ක්‍රියා නිර්‍දෙශයෙහි කියන ලදි.

 

තවද මා සතන්හි නුපදවාද යම් යම් ධර්‍ම කෙනෙක් හුදෙක් අපර ප්‍ර‍ත්‍යය ඇති ඤාණයෙන් දන්නා ලද්දාහු නම් ඒ ධර්‍මයෝ සාක්‍ෂාත් කෘතයහ. එහෙයින් “සබ්බං භික්ඛවෙ සච්ඡිකාතබ්බං කිඤ්ච භික්ඛවෙ සබ්බං සච්ඡිකාතබ්බං. චක්ඛුං භික්ඛවෙ සච්ඡිකාතබ්බං[822] ‘මහණෙනි! සියල්ල සාක්‍ෂාත් කළ යුතු ය, යනාදීන් වදාරන ලදි.

 

තවද “රූපං පස්සන්තො සච්ඡිකරොති. වෙදනා -පෙ- විඤ්ඤාණං පස්සන්තො සච්ඡිකරොති. චක්ඛුං -පෙ- ජරා මරණං අමතොගධං නිබ්බානං පස්සන්තො සච්ඡිකරොති. යෙ යෙ ධම්මා සච්ඡිකතා හොන්ති, තෙ තෙ ධම්මා ඵස්සීතා හොන්ති2 ‘රූපය දක්නේ ප්‍ර‍ත්‍යක්‍ෂ කෙරේ. වේදනාව -පෙ- විඤ්ඤාණය ද දක්නේ ප්‍ර‍ත්‍යක්‍ෂ කෙරේ. චක්‍ෂුව -පෙ- ජරා- මරණය, අමෘතයට අනගර්‍ගත වූ නිර්‍වාණය දක්නේ ප්‍ර‍ත්‍යක්‍ෂ කෙරේ. යම් යම් ධර්‍ම කෙනෙක් ප්‍ර‍ත්‍යක්‍ෂ කරන ලද්දාහු නම් ඒ ඒ රූපාදි ධර්‍මයෝ ඥාන ස්පර්‍ශයෙන් ස්පර්‍ශ කරන ලද්දාහු වෙති’ යි අන්‍ය වූ ක්‍ර‍මයෙකින් කියන ලදී.

 

ලෝකෝත්තර සාක්‍ෂාත් කිරීම, ප්‍ර‍ථම (සෝවාන්) මාර්‍ග ක්‍ෂණයෙහි නිවන් අවබෝධ කිරීම දර්‍ශන සාක්‍ෂාත් ක්‍රියා යැ. සෙසු ශකෘදාගාමි ආදී මාර්‍ග ක්‍ෂණයන්හි නිවන් අවබෝධ කිරීම භාවනා සාක්‍ෂාත් ක්‍රියා යි. ඒ දෙවැදෑරුම් සාක්‍ෂාත් ක්‍රියාවෝම මේ අභිසමය කාලයෙහි අදහස් කරන ලදහ.

 

(ගෝත්‍ර‍භූ ඥානය එයට ද පළමු නිවන් දකී. අරමුණු කිරීම් වශයෙන් දුටුව ද, ක්ලේශ ප්‍ර‍හාණාදි කර්‍තව්‍ය කෘත්‍යයන් නො කරන හෙයින් එය දර්‍ශනය යි නො කියන ලදි. යනු ටීකා යි.)

 

එහෙයින් දර්‍ශනමාර්‍ග - භාවනාමාර්‍ග වශයෙන් නිර්‍වාණය සාක්‍ෂාත් කිරීම මේ ලෞකික - ලෝකෝත්තර ඥානයා ගේ කෘත්‍යය යි දතයුතු.

 

(මෙයින් අමාර්‍ග වශයෙන් පැවති නිර්‍වාණය (ප්‍ර‍ත්‍යවේක්‍ෂා) සාක්‍ෂාත් කිරීම වළකයි යනු ටීකායි.)

 

ද්‍වෙ භාවනා අභිමතා” යනු ලෞකික භාවනා යැ, ලෝකෝත්තර භාවනා යැ යි’ භාවනා දෙකෙන් ම අභිප්‍රේත යි. ඔවුනතුරින් ලෞකික- සීල- සමාධි ප්‍ර‍ඥාවන්ගේ ඉපදවීම ද, සීල- සමාධි- ප්‍ර‍ඥාවන්ගෙන් තමා සතන්හි පුරුදුවීම් විසින් පැවැති සන්තාන වාසනාව ද ලෞකික භාවනා යි.

 

(යම් පමණෙකින් ලෞකික වූ සීල භාවනා (කාය භාවනා) චිත්ත භාවනා- ප්‍ර‍ඥා භාවනාවෝ උපදවන ලද්දාහු ද එයින් ම සන්තානය ද පරිභාවිත යැ යනු ටීකායි.)

 

මෙහි ලෝකෝත්තර භාවනාව ම අභිප්‍රේතයි.

 

ලෝකෝත්තර වූ සීල- සමාධි- ප්‍ර‍ඥාවන් ගේ ඉපදවීම ද, ඒ සීලාදීන් ගෙන් පැවැති සන්තාන වාසනාව ද ලෝකෝත්තර භාවනා යි. මේ ඤාණ දස්සන විසුද්ධියෙහි ලා ඒ ලෝකෝත්තර භාවනාව අභිප්‍රේතයි. සිවුවැදෑරුම් වූ ඒ ලෝකෝත්තර මාර්‍ග ඥානය සම්මාවාචා- සම්මාකම්මන්ත- සම්මාආජීව- යන සීලය ද, සම්මාවායාම- සම්මාසති- සම්මාසමාධි යන සමාධිය ද උපදවයි. ඒ උපදවනුවේ සීලාදීන් සහජාතාදි ප්‍ර‍ත්‍යය හෙයිනි.

 

විශේෂ:- මෙහි ප්‍ර‍ඥාව තමාම නො උපදවන හෙයින් ආදි ශබ්දයෙහි ප්‍ර‍ඥාව (සම්මාදිට්ඨි - සම්මාසඞ්කප්ප) නො ගැනේ.

 

තවද මෙහි ඵලසීලාදීන් ගේ ගැනීම වේය යි ප්‍ර‍ඥාව ද ගැනීම යෙදේ. ඒ මාර්‍ග ඵලයෙන් සමුච්ඡෙද- පටිප්පස්සද්ධි වශයෙන් ක්ලේශ ප්‍ර‍හාණයෙන් සමුච්ඡින්‍දන-පටිප්පස්සම්භන වශයෙන් පවත්නා ලෝකෝත්තර ශීලාදියෙන් ආර්‍ය්‍ය පුද්ගල තෙමේ තමා සන්තානය පරිභාවිත කෙරේනු යි ලෝකෝත්තර භාවනාව මේ මාර්ගඥානයේ කෘත්‍යය යි.

 

මෙසේ මාර්ගාවබොධකාලයෙහි පරිඥාදි වශයෙන් කියන ලද සියලු කෘත්‍යය තතු සේ දතයුතු.

 

මෙතෙකින් -

 

සීලෙ පතිඨාය නරො සපඤ්ඤො- චිත්තං- පඤ්ඤාඤ්ච භාවයං” යි මෙසේ ස්වරූපයෙන් ආගත වූ ප්‍ර‍ඥාභාවනාව පිළිබඳ විධානය දැක්වීම පිණිස-

 

මූලභූතා ද්වෙ විසුද්ධියො සම්පාදෙත්‍වා සරීරභූතා පඤ්ච විසුද්ධියො සම්පාදේන්තෙන භාවෙතබ්බ” යී ‘මුල් වූ සීලවිසුද්ධි චිත්තවිසුද්ධීන් සම්පාදනය කොට සරීර වූ දිට්ඨි - කාඞ්ඛාරවිතරණමග්ගමාග්ගඤාණ- පටිටපදාඤාණ- ඤාණ දස්සන පඤ්ච විසුද්ධීන් සම්පාදනය කරමින් වැඩිය යුතුයැ’යි විස්තර කරන ලදි.

 

විශේෂ:- මේ සප්ත. විශුද්ධිය අතුරින් සීලාදි විසුද්ධි සය ලෞකික යැ. ඤාණදස්සන විසුද්ධිය ලෝකෝත්තර යි. මෙතෙකින් “කථං භාවෙතබ්බං” ‘කෙසේ වැඩිය යුතුදැ’ යි විචාළ ප්‍ර‍ශ්නය විසඳන ලද්දේ වේ.

 

මෙසේ සුධීජනනයන් ගේ ප්‍රමොද්‍ය පිණිස කළ විශුද්ධි මාර්ගයෙහි

ප්‍ර‍ඥභාවනාධිකාරයෙහි ඥානදර්‍ශන විශුද්ධි නිර්දේශ නම්

දෙවිසිවන පරිච්ඡේදය සමාප්ත යි.

 


23 වන පරිච්ඡේදය

ප්‍ර‍ඥාභාවනානිසංස නිර්දේශය

 

පඤ්ඤාභාවනාවෙහි ආනිසංස කවරේදැ යි’ පෙර කී වචනයට මේ කියම්හ. මේ ප්‍ර‍ඥාභාවනාව ශ්‍රාවක පාරමිඥානාදි අනේක ශත ආනිසංස ඇත්තී වෙයි. එහෙයින් එහි ආනිසංස දීර්‍ඝ කාලයෙකිනුදු කියා නිමකළ නො හේ. සැකෙවින්.

 

සක්කායදිට්ඨි ආදී නොයෙක් කෙලෙස් නැසීම යැ,

ආර්‍ය්‍ය ඵල රස අනුභව කිරීම යැ,

නිරෝධසමාපත්තියට සමවැදීමට සමර්ථ බව යැ,

ආහුන්‍යෙහාවාදී සිද්ධියදැ යි මේ අනුසස් දතයුතුයි.

 

ප්‍ර‍ඥාභාවනානිසංස වාරයෙහි නාම-රූප පරිච්ඡේදයෙහි පටන් කී සක්කායදිට්ඨි ආදීන් ගේ වශයෙන් නානාවිධ ක්ලේශයන් දුරු කිරීම ලෞකික ප්‍ර‍ඥාභාවනානිසංසය යි. ආර්‍ය්‍යමාර්ගක්‍ෂණයෙහි සංයෝජනාදි නානාවිධ ක්ලේශයන් ගේ නැසීම ලෝකෝත්තර ප්‍ර‍ඥාභාවනාවේ ආනිසංසය යි දතයුතු.

 

“භිමවෙගානුපතිතා - අසනීච සිලුච්චයෙ

වායුවෙගසමුද්ධුතො - අරඤ්ඤාමිව පාවකො

අන්‍ධකාරං විය රවි - සතෙජුජ්ජලමණ්ඩලො

දීඝරත්තානුපතිනං - සබ්බානත්‍ථවිධායකං

කිලෙසජාලං පඤ්ඤාභි -විද්ධංසයති භාවිතා

සන්‍දිඨිකමතොපඤ්ඤා - ආනිසංසමිමං ඉධ”

 

“බිහිසුණු වෙයින් හුණු - හේනක් සේ ගල් පව්වෙකැ

සැඬ සුළඟින් පැතිරැ ගත් - ළැවගත් මහා අරනෙව්

සිය තෙද රැස් මඩුලු - සරාහිරු ගනඳුර සේ

බෝ කල් අනුවැ පැවැතුණු - සියල් අනතුරු සැලසු

වඩන ලද නුවණින් - කෙලෙස් රැස් වනසනුයෙන්

දිචුමන්හිම පසක් වූ - මේ අනුසසැ යි දන්නේ

 

හුදෙක් කෙලෙස් නැසීම මතු නොවැ ආර්‍ය්‍යඵලරසානුභවයප්‍ර‍ඥාභාවනාවේ ආනිසංසය යි. සෝවාන් ආදි ශ්‍රාමණ්‍යඵලය ආර්‍ය්‍ය මාර්‍ගයෙහි ඵල හෙයින් ආර්‍ය්‍යඵල නමි. මාර්‍ගවීථියෙහි ද, ඵලසමාපත්තියෙන් ප්‍ර‍වෘත්ති කාලයෙහිදැ යි ඒ ආර්‍ය්‍යඵලරසානුභාවය ද්විප්‍ර‍කාර වේ. ඔවුනතුරින් මාර්‍ග වීථියෙහි ආර්‍ය්‍යඵලයාගේ ප්‍ර‍වෘත්තිය දක්වන ලදි.

 

මතාන්තර:- සංයෝජන ප්‍ර‍හාණය විනා ආර්‍ය්‍යමාර්‍ගයෙහි අන්‍ය ඵලයක් නැතැයි අන්‍ධකයෝ යෙති. ඔවුන් හඟවනු පිණිස මේ සූත්‍ර‍ය දැක්විය යුතු.

 

“කථං පයොගපටිප්පස්සද්‍ධි පඤ්ඤා ඵලෙඤාණං සොතාපත්ති මග්ගක්ඛණෙ දස්සනඨෙන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨියා වුඨාති. තදනුවන්තික කිලොසෙහි ච ඛන්‍ධෙහි ච වුඨාති. බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුඨාති තං පයොගපටිප්පස්සද්‍ධත්තා උප්පජ්ජති සම්මාදිට්ඨි මග්ගස්සෙතං ඵලං[823] ‘පයොග පටිප්පස්සද්‍ධිය (යොගාර්‍ය්‍යමාර්‍ග නිමිත්තෙන් කෙලෙස් සංසිඳුවන ප්‍ර‍ඥාව) ඵලයෙහි ඤාණය වන්නේ කෙසේද:- සෝවාන් මාර්ගක්‍ෂණයෙන් නිවන් දක්නා අර්ථයෙන් සම්මාදිට්ඨිය මිථ්‍යාදෘෂ්ටියෙන් නැගී සිටියි. ඒ මිථ්‍යාදෘෂ්ටියට සම්ප්‍රයෝග වශයෙන් ද, උපනිශ්‍ර‍ය වශයෙන් ද, අනුවර්‍තක කෙලෙසුන් කෙරෙන් ද, ස්කන්‍ධයන් ගෙන් ද නැඟී සිටී. බාහිර වූ සර්‍වනිමිත්තයන් ගෙන් ද නැගේ. ප්‍ර‍තිප්‍ර‍ශ්‍ර‍බ්ධිය (ඒ මාර්‍ගයා ගේ ප්‍රයෝගය සංසිඳුවන) හෙයින් මාර්ගයෙහි මෙන් ඵලයෙහි ද සම්‍යක් දෘෂ්ටි (සඞ්ඛ්‍යාත ප්‍ර‍ඥාව) උපදී, මේ ආර්‍ය්‍යමාර්ගයේ ඵලය යි. සෝවාන් මාර්‍ගක්‍ෂණයෙහි නිවන් අරමුණය නැංවීම් අර්ථයෙන් සම්මාසඞ්කප්ප ද සෙසු මාර්‍ගයන් ද විස්තර කළ යුතු යි.

 

චත්තාරො අරියමග්ගා චත්තාරි ච සාමඤ්ඤඵලානි ඉමෙ ධම්මා අප්පමාණාරම්මණා, මහග්ගතො ධම්මො අප්පමානස්ස ධම්මස්ස අනන්තර පච්චයෙන පච්චයො[824]

 

‘සතර ආර්‍ය්‍යමාර්ග, සතර ශ්‍රාමණඵල ද යන මේ ධර්‍මයෝ අප්‍ර‍මාණාලම්බණයහ. (අප්‍ර‍මාණ වූ නිර්‍වාණය අරමුණු කොට ඇති හෙයිනි.) නෙවසඤ්ඤා නාසඤ්ඤායතන (මහග්ගතධර්‍ම) ය. නිරෝධයෙන් නැගිටින කලැ අනාගාමි, අර්හත් (ආර්‍ය්‍ය) ඵලය (අප්‍ර‍මාණ ධර්‍මය) ට අනන්තරප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ, මේ ආදී සූත්‍ර‍ ද ආර්‍ය්‍යඵල ස්වභාව ධර්‍ම වශයෙන් ඇති බව්හි සාධක යි.

 

ප්‍ර‍ශ්න:- (මේ ඵලසමාපත්තියෙහි පැවැත්ම දැක්වීම සඳහා ය)

 

1.  ඵල සමාපත්තිය නම් කිම?

2.  කවුරු එයට සමවදිද් ද?

3.  කවුරු සම නො වදිද් ද?

4.  කවරගෙයින් සමවදිද් ද?

5.  කෙසේ එයට සමවැදීම වේ ද

6.  කෙසේ සිටීම වේද

7.  කෙසේ නැගිටීම වේද

8.  ඵලයට අනතුරුවැ කුමක් වේද?

9.  ඵලය කුමකට හෝ අනතුරුව වේද

 

1.  ආර්‍ය්‍යඵලයා ගේ නිරෝධයෙහි අර්‍ථණාව (පිහිටීම) ඵලසමාපත්ති නමි.

 

2.  සියලු ආර්‍ය්‍යයෝ තමන් - තමන් ගේ ඵලසමවතට සමවදිති. අධිගත හෙයිනි.

 

3. මතු ශකෘදාගාමි ආදී ආර්‍ය්‍යයෝ යට සෝවාන් ඵලාදියට සම නො වදිති. පුග්ගලාන්තරභාවයට පැමිණිමෙන් සංසිඳුණු හෙයිනි. යට සෝවාන් ඵලාදියෙහි පිහිටියා වූ මතු සකෘදාගාමි ඵලාදියට නො සමවදිත්. අනධිගත හෙයිනි. (හුදෙක් තම තමා අයත් ඵලයටම සමවදිති) මේ මෙහි නිශ්චයයි.

 

මතාන්තර:- සමහරු සෝතාපන්න- සකදාගාමීන් සම නො වදිතැයි ද, මතු (අනාගාමි - අරහත්) දෙදෙන සමවදිතැයි’ ද යෙති. මේ දෙදෙනම ‘සමෘධියෙහි පරිපූරකකාරි හෙයිනැ යි’ එයට කරුණු එළවති. පෘථග්ජනයාහට ද තමා අධිගත ලෞකික සමවතට සමවැදිය හැකි හෙයින් සෝවාන් - සෙදගැමිහු ඵලසමවතට සමනොවදිති යි යනු අකාරණ යි.

 

නිදර්‍ශන:- “කතමෙ දස ගොත්‍ර‍භූධම්මා විපස්සනාවසෙන උප්පජ්ජහති. සොතාපත්තිමග්ග පටිලාභත්‍ථාය උප්පාදංපවත්තං -පෙ- උපායාසං බහිද්ධා සඞ්ඛාර නිමිත්තං අභිභූය්‍යතීති ගොත්‍ර‍භූ, සොතාපත්තිඵල සමාපත්තත්‍ථාය සකදාගාමි- අරහත්තඵලසමාපත්තත්‍ථාය -පෙ- සුඤ්ඤවිහාර සමාපත්තත්‍ථාය අනිමිත්තවිහාර සමාපත්තත්‍ථාය උප්පාදං -පෙ- බහිද්ධා සංඛාර නිමිත්තං අභිභූය්‍යතීනි ගොත්‍ර‍භූ[825]

 

‘විදර්‍ශනා වශයෙන් කවර දශ ගෝත්‍ර‍භූ කෙනෙක් උපදිද් ද ශ්‍රොතාපත්තිමාර්‍ග ප්‍ර‍තිලාභය පිණිස උත්පාදයැ, පැවැත්මයැ -පෙ- දැඩි ආයාසයැ, බාහිර සංඛාර නිමිත්තයැ යන මේ මැඩපියානුයි. ගෝත්‍ර‍භූ නමි. සෝතාපත්තිඵල සමාපත්තිය පිණිස ද, -පෙ- සුඤ්ඤත විරාග සමාපත්තිය පිණිස ද, අනිමිත්තවිහාරසමාපත්තීය පිණිසද, උත්පාද -පෙ- බාහිර සඞ්ඛාරනිමිත්ත ද මැඩපියානු යි ගෝත්‍ර‍භූ නමි. කරුණු මෙසේ හෙයින් සියලුම ආර්‍ය්‍යයෝ තමන් තමන් පිළිබඳ ඵලයට සමවදිත්යැ යි මෙහිලා නිෂ්ඨාවට යා යුතුයි.

 

4. මෙසේ රජකු රාජ්‍ය සුඛය අනුභව කරන්නා සේ දෙවියන් දිව්‍ය සුඛ්‍ය අනුභව කරන්නා සේ ආර්‍ය්‍යයෝ ඉහාත්ම කෙලෙස් පීඩා දාහයක් සංසිඳුවා සුවසේ වසනු පිණිස කාලය පිරිසිඳ කැමැති - කැමති කෙණෙහි ඵලසමවතට සමවදිත්. (එයට සමවැදීම ද, සමවතෙහි පිහිටීම ද ඉන් නැගීම ද, කෙසේ වේ ද යත්)

 

5. නිවනින් අනෙක් අරමුණකත් මෙනෙහි නො කිරීම ද, නිවන මෙනෙහි කිරීමදැ යි දෙ ආකාරයකින් ඒ ඵලසමාපත්තියට සමවැදීම වේ.

 

එයින් වදාරන ලදි:- “ද්වෙ ඛො ආවුසො පච්චයා අනිමිත්තයා චෙතො විමුත්තියා සමාපත්තිය, සබ්බනිමිත්තානඤ්ච අමනසිකාරො. අනිමිත්තාය ද ධාතුයා මනසිකාරො[826] ‘ඇවැත්නි! රූපාදි සියලු සංස්කාර නිමිති මෙනෙහි නොකිරීම යැ යි අනිමිත්ත මුඛයෙන් නම් වූ නිර්‍වාණය මෙනෙහි කිරීමයැ යි අනිමිත්ත මුඛයෙන් සමවැදිය යුතු ඵලසමාපත්තියට සමවැදීමට මේ කරුණු දෙකෙකි.

 

මේ වූ කලී එයට සමවදනා පරිදියි:- ඵලසමවතට සමවදනා කැමැති ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් රහසිගතවැ නන් අරමුණෙන් වැළකී සිතින් උදයව්‍යයාදි වශයෙන් සංස්කාරයෝ විදර්‍ශනාවට නැගිය යුතු වෙත්. පැවැති අනුපූර්‍ව විදර්‍ශනා ඇති ඒ යෝගීහුගේ සංස්කාරයන් අරමුණු කොට ඇති වොදාන නම් (ගොත්‍ර‍භූ) ඥානයට අනතුරුව ඵලසමාපත්ති වශයෙන් නිවන්හි සිත පිහිටයි. මෙහිලා ඵල සමවතට නැමුණු හෙයින් ශෛක්‍ෂයහට ද ඵලසමවත උපදනේ යැ. මාර්‍ගය නො උපදනේ යි.

 

මතාන්තර:- සෝවාන්තෙමේ ‘ඵලසමවතට සමවදිමි’යි විදර්‍ශනා පිහිටුවා (පටන්ගෙන) ශකෘදාගාමි වේ. ශකෘදාගාමි ද අනාගාමි වේය යි කියන්නා වූ අභයගිරිවැස්සන්ට මෙසේ කියයුතු. එසේ වන්නා හා “අනාගාමි රහත් වෙයි. රහත්තෙමේ පසේබුදු වෙයි. පසේ බුදු සර්‍වඥ බුදුවෙයි” කියායි. එහෙයින් අභයගිරි වැස්සන් ගේ මතය නො යෙදේ. පෙර කී පාළි වශයෙන් ම ප්‍ර‍තික්‍ෂේප කළ හෙයිනි. ශෛක්‍ෂයාට ද ඵලයම උපදී. මාර්‍ගය නො උපදී. ඒ ශෛක්‍ෂයා ප්‍ර‍ථමධ්‍යානික මාර්‍ගය අධිගත වී නම් ප්‍ර‍ථමධ්‍යානික ඵලයම උපදී. ද්විතීයාදි ධ්‍යානයන් අතුරින් යම් කිසි ධ්‍යානයක් අධිගත වී නම් ඒ ද්‍විතීයාදිධ්‍යානිකඵලයම උපදී. මෙසේ ඒ ඵලසමාපත්තිය වේ.

 

6. තයො ඛො ආවුසො පච්චයා අනිමිත්තයා චෙතොවිමුත්තියා ඨිතියා සබ්බනිමිත්තානඤ්ච අමනසිකාරො අනිමිත්තාය ධාතුයා මනසිකාරො පුබ්බෙව අභිසඞ්ඛාරොති.”2

 

‘ඇවැත්නි! අනිමිත්ත චේතෝවිමුක්තිය නො සිඳ පැවැත්මට ප්‍ර‍ත්‍යයයෝ තිදෙනෙක් වෙති. සියලු සංස්කාර නිමිති මෙනෙහි නොකිරීම ද, අනිමිත්තධාතුව මෙනෙහි කිරීම ද කාලය පිරිසිඳීම ද, යන තිදෙනා යි.

 

විශේෂ:- මෙහි පළමුවැම අභිසංස්කරණය නම්- සමවතට සමවැදීමට පළමුවැමැ ‘අසුවල් කාලයෙහි නැගී සිටිමි යි’ කාලය පිරිසිඳීම යි. එසේ පිරිසුන් කලැ යම්තාක් ඒ පිරිපුන් කාලය නො පැමිණියේ නම් ඒ තාක් සිටීම වේ. මෙසේ ඵලසමවතෙහි සිටීම වේ.

 

7. “ද්‍වෙ ඛො ආවුසො පච්චයා අනිමිත්තයා චෙතොවිමුත්තියා වුඨානාය සබ්බනිමිත්තානංච මනසිකාරො අනිමිත්තයා ධාතුයා අමනසිකාරො[827]

 

‘ඇවැත්නි අනිමිත්ත චේතෝවිමුක්තියෙන් නැගිටීමට මේ කරුණු දෙකෙක් වේ. සියලු සංස්කාර නිමිති මෙනෙහි කිරීමයැ, අනිමිත්ත ධාතුව මෙනෙහි නො කිරීමයැ, යන දෙකයි මෙසේ වදාළ හෙයින් ඒ ඵලසමවත්හු ගේ දෙ පරිද්දෙකින් නැගීම වේ.

 

විශේෂ:- මෙහි සර්‍වනිමිත්ත නම් - රූප නිමිත්තයැ, වෙදනා නිමිත්ත යැ, සඤ්ඤා නිමිත්ත යැ, සඞ්ඛාර නිමිත්ත යැ, විඤ්ඤාණ නිමිත්ත යැ යන මොහු යැ. හුදෙක් මොවුන් එකවට මෙනෙහි නො කෙරේ. එකම චිත්තවිථියෙක්හි නො ලැබෙන හෙයිනි. සර්‍වසංග්‍රාහික වශයෙන් මේ සියලු රූපාදි නිමිති කියන ලදි. එහෙයින් භවාඞ්ග සිතට කර්‍ම- කර්‍මනිමිති- ගතිනිමිති අතුරින් යම්කිසිවෙක්් අරමුණු වේ නම් ඒ අරමුණු මෙනෙහි කරන පුද්ගලයාහට ඵලසමවතින් නැගීම වේය යි මෙසේ ඵලසමවත්හුගේ වුට්ඨානය දතයුතු.

 

8. ඵලසිතට කවර සිතක් අනන්තර ප්‍ර‍ත්‍යය වේ ද ඵලසිතට ඵලසිත ම අනන්තර ප්‍ර‍ත්‍යය වේ. භවාඞ්ග සිත හෝ අනන්තර ප්‍ර‍ත්‍යය වේ.

 

9. කවර සිතකට ඵලසිත අනන්තර ප්‍ර‍ත්‍යය වේ ද

   මාර්‍ගසිත අනන්තර ප්‍ර‍ත්‍යය කොට ඇති ඵලසිතෙක් ඇති.

   ඵලසිත අනන්තර ප්‍ර‍ත්‍යය කොට ඇති ඵල සිතෙක් ද ඇති.

   ගොත්‍ර‍භූසිත අනන්තර ප්‍ර‍ත්‍යය කොට ඇති ඵලසිතෙක් ඇති.

   නෙවසඤ්ඤානාසඤ්ඤායතනය අනන්තර ප්‍ර‍ත්‍යය කොට ඇති ඵල සිතෙක් ද ඇති.

 

ඒ මෙසේ යි:- මාර්‍ගවීථියෙහි ඵලචිත්තයට මාර්‍ගචිත්තය අනන්තර ප්‍ර‍ත්‍යය වේ. පූර්‍ව - පූර්‍ව ඵලචිත්තයට පසුවැ පසුවැ වූ ඵලචිත්ත ඵලයෙන් අනන්තර ප්‍ර‍ත්‍යය වේ. ඵලසමවත්හි පළමු ඵලචිත්තයට ගෝත්‍ර‍භූචිත්තය අනන්තර ප්‍ර‍ත්‍යය වේ. (මෙහි ගෝත්‍ර‍භූ නම් අනුලොමඥානයයි.)

 

එයින් වදාළහ.

 

අරහතො අනුලොමං ඵලසමාපත්තියා අනන්තරපච්චයෙන පච්චයො. සෙඛානං අනුලොමං ඵලසමාපත්තියා අනන්තරපච්චයෙන් පච්චයො[828]

 

රහතන් ගේ අනුලොමය ඵලසමාපත්තියට අනන්තර ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. ශෛක්‍ෂයන් ගේ අනුලොමය ඵලසමාපත්තියට අනන්තර ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේයැ’ කියා යි. යම් ඵලයෙකින් නිරොධයෙන් නැගීම වේ නම් ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට අනන්තරය යි.

 

එහි මාර්‍ගවීථියෙහි උපන් පුන්‍ය ඵලය හැර සෙසු සියල්ල ඵලසමාපත්ති වශයෙන් පවත්නේ වේ.

 

මෙසේ මේ ඵලය මාර්‍ගවීථියෙහි ඵලසමාපත්ති හෝ ඉපදීම් වශයෙන් වේ.

 

“පටිප්පස්සද්ධරථං - අමතාරම්මණං සුභං

වන්තලොකාමිසං සන්තං - සාමඤ්ඤඵලමුත්තමං

 

ඔජවන්තෙන සුචිනා - සුඛෙන අභිසන්‍දිතං

යෙන සාතාතිසාතෙන - අමතෙන මධුං විය

 

තං සුඛං තස්ස අරියස්ස - රසභූතමනුත්තරං

ඵලස්ස පඤ්ඤං හාවෙත්‍ථා - යස්මා වින්‍දති පණ්ඩිතො

 

තස්මාරියාඵලස්සෙතං - රසානුභවනං ඉධ

විපස්සනා භාවනාය - ආනිසංසොති වුච්චති”

 

‘විඩා සංසිඳ වූ - නිවන් අරමුණු කළ සුඛ

ලොබ වැනසුමින් සන්සුන් - උතුම් ලොවුතුරු පලරස

 

ඔදවත් සුපිරිසිදු - ඉ මිහිරි එපල සුවයෙන්

අමා රසයෙන් මුසු කළ - මීයෙන් පියායන සේ

 

අරිපල පිළිබඳ - රස වූ එලොවුතුරු සුව

පැනබවුන් වැඩුමෙන් - නුවණැතියෝ විඳිත් මැයි.

 

ඉන් අරීපල රස - වැළඳුම මැ මෙහි පිවිතුරු  

විදසුන් බවුන් වැඩුමේ - අනුසස් යැයි වදාළෝ’

 

හුදෙක් ආර්‍ය්‍යඵලරාසනුභවය නොවැ නිරෝධ සමාපත්තියට සමවැදීමෙහි සමර්ථබව ද මේ ප්‍ර‍ඥාභාවනාවේ ආනිසංසය යි දතයුතු. ඒ නිරෝධසමාපත්තියේ ස්වරූප දැක්වීමට මේ ප්‍ර‍ශ්න වේ.

 

ප්‍රශ්න:-    (1) නිරොධසමාපත්ති කවරේ ද

      (2) එයට කවුරු සමවදිත් ද

      (3) කවුරු නො සමවදිද් ද

      (4) කවර හෙයින් සමවදිද් ද

      (5) (නිරෝධ සමාපත්තියට) කෙසේ සමවැදීම වේ ද

      (6) කෙසේ සිටීම වේ ද

      (7) කෙසේ නැගීම වේ ද

      (8) නැගුණහු ගේ සිත කුමකට නැමුණේ ද

      (9) මැරුණහු ගේ ද, සමවැදුණහු ගේ ද වෙනස කිම

      (10) නිරොධ සමාප්තතිය සඞ්ඛත ද

      (11) අසඞ්ඛත ද

      (12) ලෞකික ද

      (13) ලෝකෝත්තර ද

      (14) නිෂ්පන්න ද

      (15) අනිෂ්පන්න ද

 

පිළිතුරු:- (1) විදර්‍ශනානුගත අෂ්ටසමාපත්ති පිළිවෙලින් සමවැද ඒ සමාපත්තියෙහි ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මයන් නිරුද්ධ කිරීම් වශයෙන් කායාදි ත්‍රිවිධ සංස්කාර පිළිවෙලින් නිරුද්ධ කිරීමෙන් පිරිසිඳි කාලයෙහි චිත්ත-චෛතසික ධර්‍මයන් ගේ නො පැවැත්ම නිරොධසමාපත්ති නම.

 

(2) අෂ්ටසමාපත්තිලාභී අනාගාමීහු හා ක්‍ෂීණාශ්‍ර‍වයෝ සමවදිති.

 

නිදර්‍ශන:- ද්‍විහි බලෙහි සමන්නාගතත්තා තයො ච සංඛාරානං පටිප්පස්සද්ධියා සොළසහි ඤාණචරිහාහි නවහි සමාධිචරියාහි වසීභාවතා පඤ්ඤා නිරොධසමාපත්තියා ඤාණං[829]

 

‘බලදෙකින් සමන්‍වාගත හෙයින් ත්‍රිවිධ සංස්කාරයන් සංසිඳුවීමෙන් සොළොස් (16) වැදෑරුම් ඤාණයන් ගේ පැවැත්මෙන් ද, නවසමාධීන් ගේ පැවැත්මෙන් ද, වර්‍ශ භාවයට පැමිණ ප්‍රඥාව නිරොධසමාපත්තියෙහි ඤාණය යිකියන ලදී.

 

(3) ශමථ - විදර්‍ශනා බලද්වයයෙන් යුක්ත වූ නිරොධ සමාපත්තිය එළවන්නා වූ මේ සමාපත්තිය අෂ්ටසමාපත්තිලාභී අනාගාමීන් හා රහතුන් හැර සෙස්සවුනට නැත්තේ යි. එහෙයින් ඒ අනාගාමීහු හා රහත්හුම එයට සමවදිති. සෙසු පෘථග්ජනාදීහු සමනොවදිත්

 

විස්තර :- ඒ බලය නම් කවරේ ද එය මෙසේ විස්තර කරන ලදී. සමථබලය - විදර්‍ශනා බලයයි බල දෙකකි. එහි සමථබලය නම් කාමච්ඡන්‍දය වික්ඛම්භනය කරන නෙක්ඛම්ම සංකල්පයා ගේ වශයෙන් චිත්තයා ගේ අවික්‍ෂේපය සමථබල නමි. ව්‍යාපාදය විෂ්කම්භණය කරන අව්‍යාපාද වශයෙන් චිත්තයා ගේ අවික්‍ෂේපය ද, ථීන-මිද්‍ධය විෂ්කම්භණය කරන ආලෝක සංඥා වශයෙන් චිත්තයා ගේ ඒකාග්‍ර‍තා සංඛ්‍යාත අවික්‍ෂේපය ද, උද්‍ධච්චය විෂ්කම්භණය කරන සමාධාන වශයෙන් චිත්තයා ගේ එකාග්‍ර‍තාසංඛ්‍යාත අවික්‍ෂේපය ද, මිථ්‍යාවිතර්‍ක විෂ්කම්භණය කරන ආනාපානසතියෙන් සිද්ධ වූ පටිනිස්සග්ගානු පස්සී ආශ්වාස-ප්‍ර‍ශ්වාස වශයෙන් චිත්තයා ගේ ඒකාග්‍ර‍තාසංඛ්‍යාත අවික්‍ෂේපය ද සමථබල නමි. මේ උපචාරද්ධ්‍යාන වශයෙනි.

 

තවද ප්‍ර‍ථම ධ්‍යානයෙන් නීවරණ නිමිත්තෙන් කම්පා නො වන හෙයින් සමාධිය සමථබල නමි. ද්විතීයධ්‍යානයෙන් විතර්‍ක විචාරයන් ද -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන්-ආකිඤ්චඤ්ඤායතන සංඥායෙන් ද කම්පා නො වන හෙයින් සමාධි බල නම. උද්ධඤ්ඤනිමිත්තෙන් හා උද්ධච්චසම්ප්‍ර‍යුක්ත මොහඅහිරිකාදි කෙලෙස් හේතුවෙන් ද, උද්ධච්චසම්ප්‍ර‍යුක්ත සතර ස්කන්‍ධයෙන් ද, කම්පා නො වන හෙයින් භ්‍ර‍මණය නො වන හෙයින් නො සැලෙන හෙයින් සමාධිබල නමි.

 

විදර්‍ශනා බලය කිම? අනිච්චානුපස්සනාව විදර්‍ශනා බල යි. දුක්ඛානුපස්සනාව -පෙ- අනත්තානුපස්සනාව - නිබ්බිදානුපස්සනාව - විරාගානුපස්සනාව - නිරොධානුපස්සනාව - පටිනිස්සග්ගානු පස්සනාව (කෙලෙසුන් දුරලීම) විදර්‍ශනා බලයි.

 

රූපය අනිත්‍යය වශයෙන් බැලීම - රූපය පටිනිස්සග්ගානු පස්සනා වශයෙන් බැලීම විදර්ශනා බලයි. වේදනාව - සංඥාව - සංස්කාර - විඥානය - චක්‍ෂුව - ජරා - මරණය අනිත්‍ය වශයෙන් බැලීම, පටිනිස්සග්ගානුපස්සනා වශයෙන් බැලීම විදර්‍ශනා බලයි.

 

කවර අර්ථයෙන් විදර්‍ශනා බලය වේද

 

අනිච්චානුපස්සනාවෙන් නිත්‍යසංඥායෙන් කම්පා නො වන හෙයින් විදර්‍ශනාබල නමි. දුක්ඛානුපස්සනාවෙන් සුඛසංඥාවෙන් කම්පා නො වන හෙයින් විදර්‍ශනාබල නමි. අනත්තානුපස්සනාවෙන් ආත්ම සංඥාවෙන් කම්පා නො වන හෙයින් විදර්‍ශනාබල නමි. නිබ්බිදානුපස්සනාවෙන් නන්‍දියෙන් සප්‍රීතික තෘෂ්ණාවෙන් කම්පා නො වන හෙයින් විදර්‍ශනාබල නමි. විරාගානුපස්සනාවෙන් රාගයෙන් නො සැලෙන හෙයින් ද, නිරොධානුපස්සනාවෙන් සමුදයෙන් නො සැලෙන හෙයින් ද, පටිනිස්සග්ගානුපස්සනාවෙන් ආදානයෙන් නො සැලෙන හෙයින් ද, අවිද්‍යාවෙන් අවිද්‍යා සහගත කලේශයෙන් හා තත් සම්ප්‍ර‍යුක්ත චතුස්කන්‍ධයෙන් හා නො සැලෙන හෙයින් ද විදර්‍ශනාබල නමි. මේ විදර්‍ශනා බලයයි.

 

ත්‍රිවිධ සංස්කාරයන් සංසිඳවීමෙන් යන්නෙන්:- ද්‍විතීයධ්‍යානයට සමවන්නහු ගේ විතර්‍ක-විචාර (වචීසංස්කාර) යෝ සංසිඳුනාහු වෙති. චතුර්ථධ්‍යානයට සමවන්නහු ගේ ආස්වාස-ප්‍ර‍ශ්වාස (කායසංස්කාර) යෝ සංසඳෙත්. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නහු ගේ සංඥා (චිත්තය) ද, වේදනා ද ඒ සම්ප්‍ර‍යුක්ත සංස්කාර ධර්‍මයෝ සංසිඳෙත්. මෙසේ මෙකී ත්‍රිවිධ සංස්කාරයන් ගේ සංසිඳීම මෙයින් අදහස් කරන ලදී. (මෙහි තයො යනු “තින්නං” යන අර්‍ථය දෙයි)

 

සොළසහි ඤාණචරියාහි =(සොළොස් (16) ඤාණචරියාවෙන් යන්නෙන් අනිච්චානුපස්සනා-දුක්ඛානුපස්සනා - නිබ්බිදානුපස්සනා - විරාගානුපස්සනා - නිරොධානුපස්සනා - පටිසංඛානුපස්සනා - පටිනිස්සග්ගානුපස්සනා - විවට්ටානුපස්සනා සොතාපත්තිමග්ග - සොතාපත්තිඵල සමාපත්ති - සකදාගාමිමග්ග සකදාගාමිඵලසමාපත්ති - අනාගාමිමග්ග- අනාගාමිඵලසමාපත්ති - අරහත්තමග්ග - අරහත්තඵලසමාපත්ති යන මේ සොළොස් (16) ඥානචර්‍ය්‍යාවෝ ගැනෙති.

 

විශේෂ:- අටවැදෑරුම් අනුපස්සනාවන් ගේ හා අටවැදෑරුම් මාර්‍ග - ඵල ඥානයන් ගේ වශයෙන් මේ සොළොස් (16) ආකාරයෙන් ඤාණයා ගේ පැවැත්ම වේ.

 

නවවැදෑරුම් සමාධිචරියාවන්ගෙන්’ යන්නෙන් ප්‍ර‍ථමධ්‍යාන සමාධිචර්යා යැ. -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති සමාධිචර්‍ය්‍යයැ යි මෙසේ අෂ්ටසමාපත්තීන් හා ඔවුන් ගේ උපචාර සමාධියදැ යි නවසමාපත්තීහු ගැනෙති.

 

විස්තර:- ප්‍ර‍ථමධ්‍යාන ප්‍ර‍තිලාභය පිණිස විතර්‍කය ද, විචාරය ද, ප්‍රීතිය ද, සුඛය ද, චිත්තේතකාග්‍ර‍තාවය ද වන්නේ යැ. මේ නව සමාධිචර්‍ය්‍යාවන් ගෙන් ද,

 

වඝී නම් පඤ්චවසීහු ය, ආවජ්ජනවසී යැ, සමාපජ්ජන වසී යැ, අධිඨාන වසී යැ, වුඨාන වසී යැ, පච්චවෙක්ඛන වසී යැ යන මොහුයි.

 

විස්තර:- ප්‍ර‍ථමධ්‍යානය ආවර්‍ජනා කරන්නහු ගේ කැමැති තැනෙක - කැමති පමණ කලක් - කැමැති තාක් ධ්‍යානාඞ්ගයන්හි නිරන්තරයෙන් චිත්තය පැවැත්මට සමර්‍ථ බව ආවර්‍ජනවසීතාව යැ.

 

ප්‍ර‍ථමධ්‍යානයට කැමැති තැනෙක - කැමති කලක් - කැමැති තාක් සමවැදීමට සමර්‍ථ බව සමාපජ්ජනවසීතාව යැ.

 

ධ්‍යානය සිටුවන්නට සමර්‍ථ බව අධිඨානවසීතාව යැ.

ශීඝ්‍ර‍වැ නැගීමෙහි සමර්‍ථබව වුට්ඨානවසීතාව යැ.

ප්‍ර‍ත්‍යවෙක්‍ෂාකිරීමේ සමර්‍ථ බව පච්චවෙක්ඛනවඝීතාවයි.

 

විශේෂ:- ප්‍ර‍ත්‍යවෙක්‍ෂාවසීතාව ආවර්‍ජනාසීතාවෙන්ම සිද්ධ යැ. එහි ප්‍ර‍ත්‍යවෙක්‍ෂා ජවනයෝ ම ආවර්‍ජනාන්තර වෙති.

 

ද්‍විතීයධ්‍යාන සමාපත්තියට - නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවැදීමට සමර්‍ථ බව සමාපජ්ජනවසීතාව යි. (යනාදිය ද පෙර සේමැ යි.) මේය පඤ්චවිධ වසීතා නම්.

 

විස්තර:- මෙහි සෝළස විධ ඤාණචරියාවයැයි කීයේ නිරවශේෂයෙන් දැක්වීම පිණිස යැ. එහෙයින් අනාගාමිහට අර්‍හත් මාර්‍ග ඵලයන් අනධිගත හෙයින් තුදුසු (14) ඤාණචරියාවෙක් වේ. එසේ වන්නා හා ශකෘදාගාමි දොළොස් (12) ඥාන චර්‍ය්‍යාවක් ද, සෝවාන්හට දස (10) ඥානචර්‍ය්‍යාවක් ද කවර හෙයින් නො වේද යත්:- සමාධියට සතුරු වූ පඤ්චකාම ගුණික රාගය පහ නො වූ හෙයිනි.

 

ශකෘදාගාමී - ශ්‍රෝතාපන්නයන් ගේ කාමරාග අප්‍ර‍හීණ හෙයින් ශමථ බලය සම්පූර්‍ණ නො වේ. ඒ අසම්පූර්‍ණ කල්හි ශමථවිදර්‍ශනා බලද්වයයෙන් සමවැදිය යුතුවූ නිරොධසමාපත්තියට බල විකලත්‍වයෙන් සමවැදීමට නොහැකි වේ. අනාගාමීහු ගේ ඒ කාමරාගය ප්‍ර‍හීණ වූ හෙයින් හෙතෙමේ පිරිපුන් බව ඇත්තේ වේ. එහෙයින් ඕහට නිරොධසමාපත්තියට සමවැදිය හැකි යැ.

 

එයින් වදාළහ:- ‘නිරොධා වුඨහන්තස්ස නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසලං ඵලසමාපත්තියා අනන්තරපච්චයෙන පච්චයො[830]

 

‘නිරෝධයෙන් නැගිටින අනාගාමීහට නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසලචිත්තය අනාගාමීඵලසමාපත්තියට අනන්තර ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වේය ’යි මේ අනාගාමීහු ගේ නිරෝධයෙන් නැගිටීම සඳහාම කියන ලදි.

 

එහි සමාපජ්ජනං = සමවැදීම නම්, පඤ්චවොකාර භවයෙහි අනැගැමිරහතුන් ගේ නිරෝධ සමාපත්තියට සමවැදීම යි ප්‍ර‍ථම ධ්‍යානාදි අනුපූර්‍ව සමාපත්ති ලැබෙන හෙයිනි.

 

විශේෂ:- චතුවොකාර භවයෙහි ප්‍ර‍ථමධ්‍යානාදීන් ගේ උත්පත්තිය නැති හෙයින් (අරූප භවයෙහි) නිරෝධසමාපත්තියට සමවැදිය නො හැකියි. ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් හෘදය වස්තු රූපය නැති හෙයිනැ යි යෙති.

 

(අරූප භවයෙහි නිරොධසමාපත්තිය වේ නම් චිත්ත-චෛතසික හෝ අන්‍ය රූපාදියක් හෝ නැති හෙයින් අවස්තුකම වේ. අනුපාදිශෙෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවියාක් බඳු වේ. හුදෙක් අඞ්ග විකලත්‍වය නිසාම අරූප භවයෙහි නිරොධසමාපත්තිය නැති යනු ටීකා යි.)

 

(4) කවර හෙයින් සමවදිද් ද, සංස්කාර ධර්‍මයන් කෙණෙහි කෙණෙහි ඉපදීමෙහි ද, බිඳීමෙහි ද, උකටලී වැ ‘මේ ආත්මයෙහි ම අචිත්තකවැ නිරොධයට (අනුපාදිශෙෂ පරිනිර්‍වාණයට) පැමිණියවුන් මෙන් සුවසේ වසම්හ යි’ සමවදිත්.

 

(5) නිරෝධ සමාපත්තියට සමවැදීම කෙසේ වේ ද අන්‍යොන්‍ය උපකාරීත්‍වයෙන් ඒකීභාවයට පැමිණි ශමථ-විදර්‍ශනා වශයෙන් උත්කෘෂ්ට භාවයට පැමිණ කරන ලද පූර්‍වකෘත්‍ය ඇති නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිරුද්ධ කළ යෝගාවචරයා ගේ නිරෝධසමාපත්තියට සමවැදීම වේ.

 

විශේෂ:- ශමථ වශයෙන් උත්කෘෂ්ට බවට පැමිණෙන්නේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ සිටී. විදර්‍ශනා වශයෙන් උත්කර්‍ෂ බවට පැමිණි යෝගී තෙමේ ඵලසමාපත්තියට පැමිණේ. ශමථ-විදර්‍ශනා උභය වශයෙන් උත්කෘෂ්ට බවට පැමිණ පූර්‍වකෘත්‍ය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට නිරුද්ධ කරන අනාගාමි වූ හෝ අර්‍හත් වූ පුද්ගල තෙමේ නිරොධ සමාපත්තියට සමවදීය යි මේ මෙහි සංක්‍ෂේපය යි.

 

මේ විස්තරය :- මේ සසුනෙහි නිරෝධසමාපත්තියට සමවදිනු කැමති මහණ තෙමේ බත් කිස නිමවා අත් පා මනාවැ දොවා විවේක තැනෙක මනාව පැනැ වූ අස්නෙකැ පළඟ බැඳ කය සෘජු කොට පිහිටුවා සිහිය කර්‍මස්ථානභිමුඛ කොට එළවා වැඩහිඳී. ඒ භික්‍ෂුව ප්‍ර‍ථමධ්‍යානයට සමවැදි එයින් නැගි ඒ ධ්‍යානයෙහි වූ සංස්කාරයන් අනිත්‍ය-දුඃඛ-අනාත්ම හෙයින් මෙනෙහි කිරීමෙන් විදර්‍ශනා වඩයි.

 

මේ විදර්‍ශනාව සංස්කාර පරිග්‍රාහක යැ, ඵලසමාපත්ති යැ, නිරෝධසමාපත්ති යැ ත්‍රිවිධ වේ. මොවුනතුරින් සංස්කාර පරිග්‍රාහක විදර්‍ශනාව මන්‍ද වූයේ හෝ තීක්‍ෂණ වූයේ හෝ මාර්‍ගයට ආසන්න කාරණ වේ. ඵලසමාපත්ති විදර්‍ශනාව තීක්‍ෂණවූයේම මාර්‍ගභාවනාව හා සදෘශ වූවාම වේ. නිරොධසමාපත්ති විදර්‍ශනාව ඉතා මන්‍ද නොවූයේ ද, ඉතා තියුනු නො වූයේ ද වටී. එහෙයින් මේ අනාගාමී හෝ රහත් වූ හෝ ආර්‍ය්‍ය තෙමේ ඉතා මඳ නොවූ ද, ඉතා තියුණු නො වූද විදර්‍ශනායෙන් ඒ ප්‍ර‍ථමධ්‍යාන සංස්කාරයන් විදර්‍ශනා කෙරේ.

 

ඉක්බිති ද්විතීයධ්‍යානයට සමවැද එයින් නැගී එහි වූ සංස්කාරයන් එසේම විදර්‍ශනා කෙරේ. ඉක්බිති තෘතීයධ්‍යානයට ද, -පෙ- ඉක්බිති විඤ්ඤාණඤ්චායතනයට ද සමවැද එයින් නැගී එහි වූ සංස්කාරයන් එසේම විදර්‍ශනා කෙරේ. නැවැතැ ආකිඤ්චඤ්ඤායතනයට සමවැද එයින් නැගී,

 

(අ) නානා බද්ධ අවිකොපනය

(ඉ) සංඝ පතිමානනය

(උ) සත්‍ථු පක්කෝසනය

(එ) අද්ධාන පරිච්ඡේදය යන මේ සතර පූර්‍ව කෘත්‍යයන් කෙරේ.

 

(අ) නානාබද්ධ අවිකෝපනය නම්:- ඒ භික්‍ෂුව සමග ඒකාබද්ධ වූ පිරිකර හැරැවෙන් වැ සිටි පා සිවුරු ආදිය හෝ ඇඳ- පුටු හෝ වසන ගෙය හෝ අන්කිසි පරිෂ්කාර ජාතියක් හෝ වේ නම් ඒ නානාබද්‍ධ පරිෂ්කාරයන් ගිනි- දිය- වා- සො- මී ආදීන් ගෙන් විනාශ නො වන සේ අධිෂ්ඨාන කළ යුතු බව යි.

 

මේ ඉටනසේ යැ:- මේ මේ දැය මේ සත් දවස ඇතුළත ගින්නෙන් නො දැවේවා. ජලයෙන් නො ඉල්පේවා. වාතයෙන් නො නැසේවා. සොරුන් පැහැර නො ගැනේවා. මීයන් නො කනු ලැබේවා යි’ යි මෙසේ ඉටුකලැ ඒ සත්දවස ඇතුළත ඒ යෝගිහට කිසි උපද්‍ර‍වයෙක් නො වේ. එහෙත් නො ඉටන ලද්ද ගිනි ආදියෙන් නසී.

 

මහානාග තෙරුන්ට මෙනි:- මාතෘ උපාසිකාව ගේ ගමට පිඩු පිණිස වැඩි තෙරුන් මාතෘ උපාසිකාව කැඳ පිළිගන්වා ආසන ශාලාහි වඩා හිඳවුවා ය. තෙරහු නිරොධයට සමවැද වැඩ හුන්හ. උන්වහන්සේ වැඩ සිටියදී ආසන ශාලාව ගිනි ගත්තේ ය. සෙසු භික්‍ෂූහු තම තමන් හුන් අසුන් ගෙන පලා ගියහ. ගම්වැස්සෝ තෙරුන් දැක ‘අලස මහණෙකැ’යි කීහ. ගින්න තණ- උණ- දර- ආදිය දවා ගෙන තෙරුන් සිසාරා සිටියේ ය. මිනිස්සු කළයෙන් දිය ගෙනවුත් ගිනි නිවා අලු ඉවත් කොට පිරිබඩ ගන්වා මල් විසුරුවා වඳිමින් සිටියහ. තෙරුන් වහ්නසේ පිරිසුන් කාලයෙහි නැගිට ඔවුන් දැක පළටවුයෙමි යි, අහට නැගී “පුවගු” දිවයිනට වැඩි සේක. මේයැ නානාබද්‍ධ අවිකොපනය නමි.

 

විශේෂ:- එකාබද්ධ වූ හඳනා පොරෝනා හෝ වැඩහුන් අසුන හෝ ඉටුවමනා නො වේ. ඒ සමාපත්ති වශයෙන් ම රැකේ. ආයුෂ්මත් සංජීව ස්ථවිරයන්ට මෙනි. ආයුෂ්මත් සංජීව තෙරුන් ගේ සමාධි විෂ්ඵාර සෘධිය වේ. ආයුෂ්මත් සැරියුත් මහ තෙරුන් වහ්නසේ ගේ සමාධි විෂ්ඵාර සෘද්ධිය වේය යි එයින් කී[831]

 

(ඉ) සංඝපතිමානනය:- සංඝයා ගේ බුහුමන බැලීම යි. ඒ භික්‍ෂුව එන තෙක් සංඝයා කර්‍ම නො කිරීම යි. මෙ බඳු බුහුමන ඒ භික්‍ෂුව ගේ පූර්‍වකෘත්‍යය නො වේ. සංඝයා ගේ බුහුමන ආවර්‍ජනා කිරීම වූකලි ඒ භික්‍ෂුව ගේ පූර්‍වකෘත්‍ය යැ.

 

ඒ මෙසේ ය:- ‘මා සත් දිනක් නිරෝධයට සමවැදී හුන්කල සංඝයා ඤත්තිකර්‍මාදීන් අතුරින් කිසි කර්‍මයක් කරනු කැමැති වේ නම් කිසි භික්‍ෂුවක් අවුත් මා කැඳවත් ම නැගී සිටීම යි’ ඉටිය යුතු. එසේ ඉටා සමවන්නේ එකල නැගී සිටීම යි. එහෙත් එසේ නො ඉටා සමවන් කලැ සංඝයා රැස්වී ඒ භික්‍ෂුව නො දැක කොහිදැ යි විචාර නිරෝධනයට සමවැදීය යි කීකල යා ‘අසුවල් භික්‍ෂුව සංඝයා ගේ වචනයෙන් කැඳව යි’ කිසියම් භික්‍ෂවක් යැවී නම් ඒ භික්‍ෂුව ද ශ්‍ර‍වණොපචාරයෙහි සිට ‘ඇවැත්නි! සංඝයා ඔබට බුහුමන් කෙරේය යි’ කී පමණින් ම නැගීම වේ. මෙසේ සංඝාඥාව ඉතා ගරු යැ. එහෙයින් ඒ ආවර්‍ජනා කොට තමා ම නැගිටිනා සේ ඉටා සමවැදිය යුතු.

 

(උ) සත්‍ථුපක්කොසනය:- මෙහිද ශාස්තෘන් වහන්සේගේ ආමන්ත්‍ර‍ණය ආවර්‍ජනා කිරීම එහි කෘත්‍යය යි. එහෙයින් හෙද ආවර්‍ජනා කළයුතු.

 

‘මා නිරොධයට සමවැද සිටිනා සත් දවස තුළ බුදුහු අවතීර්‍ණ වස්තුවෙහි ශික්‍ෂාපද හෝ පනවත් නම් එබඳු කරුණෙක හෝ දහම් දෙසත් නම් කිසිවකු අවුත් මා නො කැඳවන තෙක් (කැඳ වූ කෙණෙහි ම) නැගී සිටිමි’යි මෙසේ ආවර්‍ජනා කොට හුන් ඒ භික්‍ෂුව ගේ එකෙණෙහි නැගිටීම යි. එහෙත් යමෙක් එසේ නො කෙරේ නම් බුදුහු සංඝයා රැස් වූ කලැ ඒ භික්‍ෂුව නො දැක ‘අසුවල් මහණ කොහිදැ යි’ විචාරා නිරෝධයට සමවැදිය යි කී කල යව! ගොස් මා වචනයෙන් අසුවල් භික්‍ෂුව කැඳව යි’ කිසියම් භික්‍ෂුවක් යවත් නම් ඒ භික්‍ෂුව ද ගොස් ශ්‍ර‍වණොපචාරයෙහි සිට ‘බුදුහු ආයුෂ්මතුන්ට ආමන්ත්‍ර‍ණය කෙරෙතැ යි’ කී කෙණෙහි ම නැගිටීම වේ. මෙසේ බුද්ධ නිමන්ත්‍ර‍ණය ගුරු යැ. එහෙයින් එය ආවර්‍ජනා කොට තමාම නැගිටින සේ ඉටා සමවැදිය යුතු.

 

(එ) අද්ධාන පරිච්ඡෙද:- ජීවිතය පවත්නා කාලය පිරිසිඳීම යි.

 

ඒ මෙසේයි:- මේ භික්‍ෂුව කාලය පිරිසිඳීමෙහි මනාසේ දක්‍ෂ විය යුතු. තමා ගේ ආයු සංස්කාරය සතියක් පවතීදෝ නො පවතීදෝ යි ආවර්‍ජනා කොට ම සමවැදිය යුතු. එසේ ආවර්‍ජනා නො කොට සමවැදුණ ද නිරෝධ සමාපත්තිය ඒ භික්‍ෂුව ගේ මරණය වැළකීමට සමර්‍ථ නො වේ. නිරෝධය ඇතුළත මරණය ද නොවන හෙයින් අතරම සමාපත්තීන් නැගිටීම වේ. එහෙයින් මේ අද්ධාන පරිච්ඡෙදය ද ආවර්‍ජනාකොට ම සමවැදිය යුතු. සෙසු දැය ආවර්‍ජනා නො කිරීමට ද වටී. මේ අද්‍ධාන පරිච්ඡේදය වූකලී ආවර්‍ජනා කටයුතුමැ යි.

 

ඒ යෝගී තෙමේ පෙර කී සේ ආකිඤ්චඤ්ඤායතනයට සමවැද එයින් නැගී මේ පූර්‍වකෘත්‍යයන් කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදී. එකැල සිත එක් වරක් හෝ දෙ වරක් හෝ ඉක්ම අචිත්තක වේ. නිරොධයට සමවදී. (නිරොධ නම් වූ නිර්‍වාණය ස්පර්‍ශ කෙරේ.)

 

විශේෂ:- ඒ භික්‍ෂුව ගේ සිත චිත්තවාර දෙකකට වඩා කවර හෙයින් නො පවතීද යත්? නිරෝධය පිණිස ප්‍රයෝග හෙයිනි. මේ මහණහු ගේ ශමථ-විදර්‍ශනා ධර්‍ම දෙක සම කොට අෂ්ටසමාපත්ති වශයෙන් නැගීම අනුපූර්‍ව නිරෝධය පිණිස ප්‍රයෝගයෙකි. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතට ප්‍රයොග නො වන හෙයිනි. නිරෝධයට ප්‍රයොග වන හෙයින් දෙසිතකින් මත්තෙහි සිත් නො පවතී.

 

යම් භික්‍ෂුවක් ආකිඤ්චඤ්ඤායතනයෙන් නැගි මේ පූර්‍ව කෘත්‍යයන් නො කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදී නම් හෙතෙමේ මත්තෙහි ඒ පිරිසිඳ කාලයෙහි අචිත්තක වන්නට නො පොහොසත් වේ. පෙරළා ආකිඤ්චඤ්ඤායතනයෙහි පිහිට යි. (නැවත ආකිඤ්චඤ්ඤායතනයට සමවැද එයින් නැගී පූර්‍වකෘත්‍යයන් කළමනා හෙයිනි.) මෙහිලා මගෙක නොගිය විරූ පුරුෂයකු ගේ උපමා යෙදේ. පෙර නො ගිය විරූ මගෙකැ යන පුරුෂයෙක් අතර මගැ දිය විලක් හෝ ගැඹුරු දිය කඳු රැලියක් හෝ ගැඹුරු මඩවළක් හෝ ඉක්ම සිටි සැඩ අවුවෙන් තැවුණු ගලකට හෝ පැමිණ හඳනා පොරෝනා නොපටවා ම ඒ කඳුරට බැස පිරිකර තෙමෙන බියෙන් නැවැත ද තීරයෙහි පිහිටා පාෂාණය හෝ ඇක්ම තැවුනු පා ඇතිවැ නැවැත ද මෙතෙර සිටියේ වෙයි. එහි ඒ පුරුෂයා නො පටවන ලද හඳනා පොරෝනා ඇති හෙයින් කඳුරට බට කෙණෙහි ම හෝ පහණ ඇක්මුණු කෙණෙහි ම හෝ පෙරළා අවුත් මෙතෙර සිටුනා සේ ඒ යෝගී ද පූර්‍වකෘත්‍යයන් නො කළ හෙයින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් කෙණෙහි ම පෙරළා අවුත් ආකිඤ්චඤ්ඤායතනයෙහි පිහිටයි.

 

පෙර ද ඒ මඟ ගිය පුරුෂයෙක් එතැනට පැමිණ එක් සළුවක් තරවැ හැඳ අනෙක් සළුව අතින් ගෙන කඳුර ඉක්මවා හුණු පහණ ඇක්මුණු පමණක් ම කොට ඈතට යන්නා සේ පූර්‍ව කෘත්‍යයන් කළ ඒ මහණ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැද මත්තෙහි අචිත්තක වේ. නිරෝධයට සමවැද වෙසේ.

 

(6) කෙසේ සිටීම වේ :- මෙසේ සමවන් ඒ නිරෝධ සමාපත්තීහු ගේ කාල පරිච්ඡේද වශයෙන් ද අතරතුර ආයක්‍ෂය යැ, සංඝයා ගේ බුහුමන යැ, ශාස්තෘ ආමන්ත්‍ර‍ණය යැ යන මොවුන් ගේ අභාවයෙන් ද සිටීම වේ.

 

(7) කෙසේ නැගීම වේද :- අනාගාමීහු ගේ අනාගාමී ඵලොත්පත්තියෙන් ද, රහත්හු ගේ අර්‍හත් ඵලොත්පත්තියෙන් ද, නැගීම වේ.

 

(8) නැගුණුහු ගේ සිත කුමකට නැගුණේ වේ ද:- නිරෝධයෙන් නැගෙන්නහු ගේ සිත නිර්‍වාණයට නිම්න වූයේ වේ එයින් වදාළහ:-

 

“සඤ්ඤාවේදියත නිරොධසමාප්තතියා වුඨිතස්ස ඛො ආවුසො විසාඛ භික්ඛුනො විවෙකනින්තං චිත්තං හොති. විවෙක පොණං විවෙක පබ්හාරං[832]

 

‘ඇවැත් විසාඛ! සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගි භික්‍ෂුව ගේ සිත සර්‍වසංස්කාරයන් කෙරෙන් විවික්ත හෙයින් විවේක නම් වූ නිර්‍වාණයට නැමුණේ වේ. විවේකයට ප්‍ර‍වණ වේ විවෙක ප්‍රාග්හාර වේ.

 

(9) මළහු ගේ ද, නිරෝධසමාපත්තියට සමවන්නහු ගේ ද වෙනස කිම - යන්නෙහි අර්‍ථය සූත්‍රයෙහි මෙසේ වදාළහ.

 

යවායං ආවුසො මතො කාලකතො තස්ස කායසඞ්ඛාරා නිරුද්ධා පටිප්පස්සද්‍ධා. වචී -පෙ- චිත්තසඞ්ඛාරා නිරුද්‍ධා පටිප්පස්සද්‍ධා ආයුරික්ඛීණො උස්මා වූපසන්තා ඉන්‍ද්‍රියානි පරිභීන්තානි. යවායං භික්ඛු සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො තස්සපි කායසඞ්ඛාරා නිරුද්‍ධා පටිප්පසසද්‍ධා. වචී -මනො සඞ්ඛාරා -පෙ- චිත්ත සඞ්ඛාරා නිරුද්‍ධා පරිප්පස්සධා ආයු අපරික්ඛිණො උසමා අවූපසන්තා ඉන්‍ද්‍රියානි අපරිභින්තානි[833]

 

‘ඇවැත් විසාඛ! කළුරිය කළහුගේ කායසංස්කාරයෝ නිරුද්ධයහ. සංසිඳුණහ. වාක්සංස්කාරයෝ ද, චිත්තසංස්කාරයෝ ද, නිරුද්ධයහ. සංසිඳුණහ. ආයුෂ (ජීවිතන්‍ද්‍රි) ය ක්‍ෂය වී උෂ්මාව (කර්‍මජතෙජො ධාතුව) සන්සිඳිණ. චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයෝ බිඳුණහ.

 

සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන් භික්‍ෂුව ගේ ද කායසංඛාරයෝ නිරුද්ධයහ. සංසිඳුණහ. වාක් චිත්ත සංඛාරයෝ ද නිරුද්ධයහ. සංසිඳුණහ. ආයුෂය ක්‍ෂය නො වී, උෂ්මාව නො සන්සිඳිණ. ඉන්‍ද්‍රියෝ නො බිඳණාහ. (මේ යැ ඔහු දෙදෙනා ගේ වෙනස නමි.)

 

(10-15) නිරෝධසමාපත්තිය සංඛත ද, අසංඛත ද යන ප්‍ර‍ශ්නයෙහිලා සංඛතයැ යි ද, අසංඛතයැ යි ද, ලෞකිකයැයි ද ලොකෝත්තරයැයි ද නො කිය යුතු.

 

කවර හෙයින් ද ස්වභාවයෙන් (පරමාර්‍ථ වශයෙන්) අවිද්‍යමාන හෙයිනි. එහෙත් නිරෝධසමවතට සමවන්නහුගේ වශයෙන් ඒ නිරෝධසමාපත්තිය සමවන්නී නම් වේ. එහෙයින් නිෂ්පන්නය යි කීමට වටී. අනිෂ්පන්නය යි කීමට නො වටී.

 

“ඉතිසන්තං සමාපත්තිං - ඉමං අරිය සෙවිතං

දිට්ඨෙව ධම්මෙ නිබ්බාන මිතිසඞ්ඛං උපාගතං

භාවෙත්‍වා අරියං පඤ්ඤං - සමාපජ්ජන්ති පණ්ඩිතා

යස්මා තස්මා ඉමස්සාපි - සමාපත්ති සමත්‍ථතා

අරියමග්ගෙසු පඤ්ඤාය - ආනිසංසොති වුච්චති”

‘මෙසේ අරිහු සෙවි - දිටුදම්*[834] නිවනැයි වියු,

සත්§[835] සමවත අරීනැණ - වඩා පඩිහු සමවදිත්

එබැවින් මෙසමවත් - සමවැදුමේ සමත් බව්

අරීමග සැපියුතු½[836] - පැණ අනුසයැයි පියසු”

 

ආහුන්‍යෙය භාවාදී සිද්ධිය:- යන හුදෙක් නිරෝධසමාපත්තියට සමවැදීමේ සමර්‍ථ බව පමණක් මෙහි ආනිසංස නොවේ. ආහුනෙය්‍යාදිභාව සිද්ධිය ද මේ ලෝකෝත්තර ප්‍ර‍ඥාවේ ආනිසංසයැ ව දතයුතු.

 

විස්තර:- අවිශේෂයෙන් චතුර්විධ වූ ම මේ ලොකොත්තර ප්‍ර‍ඥාව වැඩු හෙයින් භාවිතප්‍ර‍ඥා වූ පුද්ගල තෙමේ සදේවක ලෝකයාට ආහුනෙය්‍ය (=දුරින් ගෙනවුත් දෙන දානයට සුදුසු) වේ. පාහුණෙය්‍ය (=ආගන්තුක දානයට සුදුසු) වේ. දක්ඛිණෙය්‍ය (=පරලොව අදහා දෙන දානයට සුදුසු) වේ. අඤ්ජලිකරණීය (=දොහොත් මුදුනෙහි තබා සියලු ලෝකයා විසින්) අඤ්ජලීකර්‍මයට සුදුසු වේ. සකල ලෝකයා ගේ අනුත්තර පින්කෙත වේ.

 

විශේෂයෙන් මේ සතර මාර්‍ග අතුරින් පළමුවන සෝවාන් මග නුවණ වඩා මඳ වූ විදර්‍ශනාවෙන් සෝවාන් බවට පැමිණි ශ්‍ර‍ද්ධාදි මෘදු වූ ඉඳුරන් ඇත්තේ ම (දෙව් ලොව මිනිස් ලෝ විසින්) සත් සුගති භවයෙකැ ප්‍ර‍තිසන්‍ධි වශයෙන් සසර ඇවිද දුක් කෙළවර කරන්නේ සත්තක්ඛත්තුපරම නම් වේ.

 

මධ්‍යම විදර්‍ශනාවෙන් ආගත වූ ශ්‍ර‍ද්ධාදි මධ්‍යම ඉන්‍ද්‍රියයන් ඇතියේ කුල දෙක තුනක පිළිසිඳීම් විසින් සසර සැරිසරා දුක් කෙළවර කරන්නේ කොලංකොල නම් වේ.

 

තියුණු විදසුනෙන් ආගත වූ තියුණු ශ්‍ර‍ද්ධාදි ඉඳුරන් ඇත්තේ එකම ප්‍ර‍තිසන්‍ධියක් ලැබ සසර දුක් කෙළවර කරන්නේ ඒකබීජ නම් වේ.

 

කලෙකැ දෙව් ලොව ද, කලෙකැ මිනිස් ලොවදැ යි මිශ්‍ර‍ක වශයෙන් සුගති භව සතෙකැ ඉපදීම සත්තක්ඛත්තුපරමතාව යැ. කොලංකොලභාවය ද මනුෂ්‍ය - දිව්‍ය ලෝකයන්හි මිශ්‍ර‍වැ ඉපිද දුක් කෙළවර කිරීමයි. මෙහි කුල වශයෙන් ගැනෙණුයේ මහාසාරකුලමැ යි. හෙද කුල දෙක තුනකැයි කිව ද භව සය තෙක් ද ඉපදිය හැකි යි. මිනිස් ලොව හෝ දෙව් ලොව හෝ එකම අත්බවක් ලබා දුක් කෙළවර කිරීම එකබීජීයැ. (මේ වූකලී ත්‍රිවිධ මාර්‍ගවිදර්‍ශනාවන් ගේ වශයෙන් නියමය වේ. මතු තුන්මග විදර්‍ශනා බලවත් වී නම් එකබීජි වේ. මධ්‍යම වී නම් කෝලංකොල, මන්‍ද වී නම් සත්තක්ඛත්තුපරම ද වේ. මේ ටීකානුගත යි.)

 

දෙවන (ශකෘදාගාමි) මාර්‍ගප්‍ර‍ඥාව වඩා එක්වරක් ම මිනිස් ලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ශකෘදාගාමි වේ.

 

(මේ වූ කලී පස්වැදෑරුම් ශකෘදාගාමීන්ගෙන් අන්තය යැ. ඒ මෙසේයි:- කෙනෙක් මෙහිද ශකෘදාගාමි ඵලය ලබා මෙහිම පිරිනිවෙති. කෙනෙක් මෙහි ශකෘදාගාමිවැ දෙව්ලොව ඉපිද එහිදී පිරිනිවෙති. කෙනෙක් දෙව්ලොව ශකෘදාගාමිවැ එහිදී ම පිරිනිවෙති. කෙනෙක් දෙව් ලොව ශකෘදාගාමි වැ මෙහි ඉපිද මෙහිදී පිරිනිවෙති. කෙනෙක් මෙහිදී ශකෘදාගාමිවැ දෙව් ලොව ඉපිද එහි ආයු ඇතිතාක් සිට නැවැතැ මෙහි ඉපිද පිරිනිවෙති. මේ පස්වැන්නා මෙහි ගැනේ - ටීකා)

 

තුන් වන මාර්‍ගප්‍ර‍ඥාව වඩා අනාගාමී වේ. හේ ප්‍ර‍තිසන්‍ධි වශයෙන් මෙහි නූපදනා හෙයින් එනම් වේ.

 

ඒ අනාගාමි තෙමේ ශ්‍ර‍ද්ධාදි පඤ්චේන්‍ද්‍රිය ධර්‍මයන් ගේ අඩු වැඩි බැවින් අන්තරා පරිනිබ්බාඨි යැ.

 

උපභච්ච පරිනිබ්බායී යැ

අසඞ්ඛාර පරිනිබ්බායී යැ

සසංඛාර පරිනිබ්බායී යැ

 

උද්‍ධංඝොත අකණිට්ඨගාමී යැ යි පස් වැදෑරුම් වේ. මේ කාමලෝකය හැර පිරිනිවෙන්නේ වෙයි.

 

විස්තර:- අවිහාදීන් අතුරින් යම්කිසි ශුද්ධාවාසයෙකැ ඉපිද එහි ආයුඃප්‍ර‍මාණයෙන් මධ්‍යයට නොපැමිණ පිරිනිවෙනුයේ අන්තරාපරිනිබ්බායී යැ.

 

ආයු මධ්‍යය පසු කොට පිරිනිවෙනුයේ උපභච්චපරිනිබ්බායී යැ,

නිරුත්සාහයෙන් මාර්‍ග උපදවා පිරිනිවෙනුයේ අසංඛාර පරිනිබ්බායී යැ,

උත්සාහයෙන් මතු මාර්‍ග උපදවනුයේ සසංඛාරපරිනිබ්බායී යැ,

උපන් ශුද්‍ධාවාස භූමියෙන් ක්‍ර‍මයෙන් මතු - මතු ලොකයට යමින් අකණිටාව තෙක් යන්නේ උද්‍ධංසොතඅකණිට්ඨගාමී යැ.

 

විශේෂ:- අවිහයෙහි උපන් කෙණෙහි රහත් වැ පිරිනිවෙන්නෙකැ, ආයු මධ්‍යයට නො පැමිණ පිරිනිවෙන්නෙක, ආයු මධ්‍යයෙහි පිරිනිවෙන්නෙක යි අන්තරාපරිනිබ්බායීහු තිදෙනෙක් හා උපභච්චපරිනිබ්බායී එකෙක, උද්ධංසොත අකණිඨගාමි එකෙකැ යි පස්දෙනකි.

 

ඔහු පස් දෙන අසංඛාර පරිනිබායී පසෙක සසංඛාර පරිනිබ්බායී පසෙකැ යි දස දෙනෙක් වෙති. අත්පපාදි තුනෙහි ම එසේම දසදෙනා බැගින් වෙති. අකණිඨකයෙහි උද්‍ධංසොත අකණිඨගාමී හැර සතර දෙනෙකි.

 

හෙද සසංකාර - අසංඛාර භේදයෙන් අටදෙනෙකැ යි මෙසේ අනාගාමී ආර්‍ය්‍යයෝ අටසාලිස් (48) දෙනෙක් වෙති.

 

තවද අවිහාදි පිළිවෙලින් අකණිට්ඨකය තෙක් (පිළිවෙලින්) ගොස් එහිදී රහත්වැ පිරිනිවෙනුයේ උද්‍ධංසොත අකණිට්ඨගාමි නම් වේ.

 

අකණිට්ඨකයට නො පැමිණි සුදස්සිය තෙක් යට සිවු බඹලොවෙහි සැරිසරා පිරිනිවෙනුයේ උද්‍ධංසොත නමි.

 

අකණිඨයෙහිම ඉපිද පිරිනිවෙනුයේ න උද්‍ධංසොත අකණිට්ඨගාමි යැ, යට සතර සුද්ධාවාසයන්හි ඉපිද එහිම පිරිනිවෙනුයේ න උද්‍ධංසොත - න අකණිඨගාමි යැ යි මෙසේ උද්‍ධංසොත අකණිට්ඨගාමිහු සතර දෙනෙකි. මේ එකම චතුෂ්කයක් සේ ගැනිණි.

 

සිව් වැනි මාර්‍ග ප්‍ර‍ඥාව වඩා කිසි කෙනෙක් ප්‍ර‍ඥාවිමුක්ත වෙති.

කිසි කෙනෙක් උභතොභාගවිමුක්ත වෙති.

කිසි කෙනෙක් ෂඩභිඥ වෙති.

කිසි කෙනෙක් ප්‍ර‍තිසම්භිදා ප්‍රභෙදගත මහාක්‍ෂීණශ්‍ර‍ව වෙත්.

ආර්‍ය්‍යපුද්ගල භේද:- පෙරැ කී ත්‍රිවිධ සෝතාපන්නයෝ දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤාචි සතර ප්‍ර‍තිපදා වශයෙන් දොළසෙකි.

 

ඔහු නැවැතැ ශ්‍ර‍ද්‍ධා - ප්‍ර‍ඥාධුර වශයෙන් සූවිස්සෙක           24

සකදාගාමිහු විමොක්ඛමුඛ තුන ප්‍ර‍තිපදා වශයෙන්        

{සතර දෙනා බැගින් ගෙන දොළසෙක                     12

(පෙරැකීසේ අනාගාමීහු අටසාළිසෙක)                48

                 පඤ්ඤාවිමුක්ත දොළසෙක          12

                 උභතොභාග විමුක්ත දොළසෙක      12

රහත් හු        ත්‍රිවිද්‍යක දොළසෙක                 12

                 ෂඩභිඥක දොළසෙක              12

                 ප්‍ර‍තිසම්භිදාප්‍රාප්ත දොළසෙක        12

 

ප්‍රත්‍යෙකබුද්ධ, සම්‍යක් සම්බුද්‍ධ දෙදෙනෙක

 


මෙසේ සියලු ආර්‍ය්‍යයෝ එක්සිය සසාලිසෙකි.         146

 

 

එහෙයින් “මග්ගක්ඛණෙ පනෙතං ජටං විජටෙති නාම. ඵලක්ඛණෙ විජටීතජටො සදෙවකස්ස ලොකස්ස අග්ගදක්ඛිණෙය්‍යො හොතී” සතර වන මාර්‍ග ක්‍ෂණයෙහිම ජටා විජටනය කෙරේ නමි. ඵල ක්‍ෂණයෙහි සුදුසු සේ ජටා විජටනය කෙළේ සදේවක ලෝකයාට අග්‍ර‍දක්‍ෂිණාර්‍හ වේය’ යි මෙහි ආදියෙහි කියන ලදි.

 

අරී පැණ බවුනේ - මෙසේ නන් අනුසස් වේ

එහෙයින් නිසි නැණිතියෝ - එහි අබිරුති වඩත්වා

 

මෙතෙකින් :-

 

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො

           චිත්තං පඤ්ඤාං ච භාවයං

අතාපි නිපතො භික්‍ඛු

           සො ඉමං විජටයෙ ජටං”

 

 

යන ගාථායෙහි සීල- සමාධි- ප්‍ර‍ඥා මුඛයෙන් වදාළ විශුද්‍ධි මාර්‍ගයෙහි

ප්‍ර‍ඥාභාවනානෘශංස නිර්දේශ නම් වූ තෙ විසි වන

පරිච්ඡේදය නිමියේ යි.

 

 

 

අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ස්ථවිර ස්වාමිපාදයන් කළ

විශුද්ධි මාර්ග නම් පාළි ග්‍ර‍න්ථයේ සිංහලානුවාදය

සමාප්තයි.

 

 

 

 

 

 

     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



[1] විසුද්ධිමග්ග (බු:ව: 2463 මුද්‍රිත) 2 පිටුව

[2] විශුද්ධිමාර්‍ග මහා සන්‍යය (බු:ව: 2493 මුද්‍රිත) 10 පිටුව

[3] විශුද්‍ධිමාර්‍ගමහාසන්‍යය 2 පිටුව

[4] විශුද්‍ධිමාර්‍ගමහාසන්‍යය 2 පිටුව

[5] විශුද්‍ධිමාර්‍ගමහාසන්‍යය 535 පිටුව

[6] විශුද්‍ධිමාර්‍ගමහාසන්‍යය 2 පිටුව

[7] විශුද්‍ධිමාර්‍ගමහාසන්‍යය 534 පිටුව

[8] විශුද්‍ධිසාර්‍ගගීමහාසන්‍යය 2 පිටුව

[9] මහාවංස (37 පරි:) 235-236 ගාථා

[10] මනොරථපූරණී (බු.ව. 2480 මුද්‍රිත) පිටුව

[11] විශුද්ධිග්ග 535 පිටුව

[12] මනොරථපූරණි 855 පිටුව

[13] විශුඬිමාර්‍ග මහාසන්‍යයැ ප්‍ර‍ස්තාවනා xvii පිටුව

[14] විශුද්‍ධිමාර්‍ග මහා සන්‍යය 1 පිටුව

[15] විශුද්‍ධිමාර්‍ග මහා සන්‍යය 2 පිටුව

[16] විශුද්‍ධිමාර්‍ගමහාසන්‍යය 3 පිටුව

[17] විසුද්‍ධිමග්ගටීකා (1928 මුද්‍රිත) 2 පිටුව

[18] විශුද්‍ධිමාර්‍ග මහා සන්‍යය 3 පිටුව

[19] සුමඞ්ගලවිලාසිනී (1925 මුද්‍රිත) 780 පිටුව, පපඤ්චසූදනී (1926 මුද්‍රිත) 1030 පිටුව; සාරත්‍ථප්පකාසිනී iii (1930 මුද්‍රිත) 235 පිටුව; මනොරථපුරණී (1936 මුද්‍රිත) 855 පිටුව.

[20] විශුද්‍ධිමාර්‍ගමහාසන්‍යයැ ප්‍ර‍ස්තාවනා xxxvii පිටුව

[21] විසුද්‍ධිමග්ගගණඨි (1954 මුද්‍රිත) විඥාපනය x පිටුව

[22] ශාසනවංශප්‍ර‍දීපය (බු:ව: 2498 මුද්‍රිත) 81 පිටුව

[23] පපඤ්චසූදනී (ක්‍රි.ව. 1917 මුද්‍රිත) 100 පිටුව

[24] විසුද්‍ධිමග්ග 366 පිටුව

[25] විසුද්‍ධිමග්ග 387 පිටුව

[26] විසුද්‍ධිමග්ග 389 පිටුව

[27] විසුද්‍ධිමග්ග 389 පිටුව

[28] විසුද්‍ධිමග්ග 407 පිටුව

[29] The Life and work of Buddhaghosa 135-136 පිටු

[30] මහාවංස (37 පරි:) 215-216 ගාථා

[31] ථෙරවාදි බෞද්‍ධාචාර්‍යවරයෝ (ක්‍රි:ව: 1948 මුද්‍රිත) 14 පිටුව

[32] The Life and work of Buddhaghosa 135-136 පිටු

[33] වරහන් කරන ලද මේ වැකි කොටස අධිකයැ යි හැඟේ.

[34] ථෙරවාදී බෞද්ධචාර්‍යවරයෝ 16 පිටුව

[35] ආගම හා සමාජය (1950 මුද්‍රිත) 203 පිටුව

[36] මහාවංස (37 පරි:) 232 ගාථාව

[37] පූජාවලිය (1953 මුද්‍රිත 729 පිටුව)

[38] සමන්තපාසාදිකා (බු:ව: 2460) 427 පිටුව

[39] ථෙරවාදී බෞඬචාර්‍යවරයෝ 19 පිටුව

[40] විමතිවිනොදනීටීකා (බු:ව: 2478) 515 පිටුව

[41] ශාසනවංශයප්‍ර‍දීපය (බු:ව: 2498) 72-73 පිටු

[42] විශුද්ධි මාර්‍ග මහා සන්‍යයැ ප්‍ර‍ස්ථාවනා xvi පිටුව

[43] The Culvavamsa II, Introduction V-VI;

[44] Epigraphia Zeylanica, Vol.V.P.86-109

[45] ථෙරවාදී බෞද්ධචාර්‍යවරයෝ 16-22 පිටු; පාළි සාහිත්‍යය (බු:ව: 2500 මුද්‍රිත) 165-170 පිටු බලන්න.

[46] විශුද්ධිමාර්‍ගමහාසන්‍යයැ - ප්‍ර‍ස්තාවනා ix පිටුව

[47] පාළි සාහිත්‍යය 173-174 පිටු

[48] භාරතීයවිද්‍යා 1 කාණ්ඩයේ 112 පිටුව

[49] මනොරථපුරණී 854 පිටුව

[50] විසුද්ධිමග්ග 76-77 පිටු බලනු මැනවි

[51] විශුද්ධිමාර්‍ගමහාසන්‍යය 344 පිටුව

[52] විශුද්ධිමාර්‍ගමහාසන්‍යය 375 පිටුව

[53] විශුද්ධිමාර්‍ගමහාසන්‍යය 24, 209, 331 පිටුව

[54] සිංහල විශුද්‍ධිමාර්‍ගය - සංඥාපනය (බු:ව: 2473 මුද්‍රිත)

[55] සිංහල විශුද්‍ධිමාර්‍ගය - සංඥාපනය (බු:ව: 2473 මුද්‍රිත)

[56] සිංහල විශුද්‍ධිමාර්‍ගය - සංඥාපනය (බු:ව: 2473 මුද්‍රිත)

[57] සිංහල විශුද්‍ධිමාර්‍ගය - සංඥාපනය (බු:ව: 2499 මුද්‍රිත 1 පිටුව)

[58] ස.නි: දෙවතාසංයුත්ත 9 පිට

[59] .නි: දෙවතාසංයුත්ත 8 පිට

[60] සං.නි: දෙවතාසංයුත්ත 8 පිට

[61] සං:නි:දෙව.සං: 31

[62] සං:නි:දෙවතා සං: 30

[63] දී:නි:මහාවග්ග 177

[64] සා:ප: අඨකථා 39-40

[65] ස: නි: මහාවග්ග 926     

[66] දි:නි: මහාවග්ග 31

[67] පටි:ම: 44

[68] ධ:ප:පණ්ඩිතවග්ග 8

[69] ප:ම: ඤාණකථා 43 බුරුම

[70] දී:නි: සීලක්ඛන්ධ ව: 55

[71] වි:ප: ඣාන වි: 186

[72] වි:ප:ඣාන වි: 188

[73] සු:නි: පරායනව 137

[74] ම:නි: මූලපණ්ණාසක 11

[75] ම:නි: මූලපණ්ණාසක 12

[76] :නි:තික නි: 166

[77] අ:නි:තින නි: 166

[78] දි: නි: මහාවග්ග 53 පිට

[79] ම:නි: මූලපණ්ණාසක 34 පිට

[80] පටි:ම: මහාවග්ග 41

[81] අ:නි: පඤ්චකනිපාත 356

[82] අ:නි: පඤ්චකනිපාත 356

[83] පටි:ම: මහාවග්ග 42

[84] පටි:ම: මහාවග්ග 42

[85] පි: පා: චූලසංගාම 220

[86] පටි: ම: මහාවග්ග 43

[87] දී:නි: මහාවග්ග 8

[88] වි:ප:ඣානවිභඞ්ග 185

[89] ම.නි. මූලපණ්ණාසක 190

[90] ම:නි: මූලප: 11

[91] විප:ඣානචි: 185

[92] මා:කථා 1

[93] වි:ප:ඣානවිභඞ්ග 186

[94] වි:ප: ඣානවිහඞ්ග 187

[95] සං:නි: මහාවග්ග 902

[96] වි:ප:ඣානවිභඞ්ග 188

[97] තස්සා දන්තට්ඨිකං දිස්වා - පුබ්බසඤ්ඤං අනුස්සරී,

තත්‍ථෙව සො ඨිතො ථෙරො - අරහත්තමපාපුණි

 

[98] “නාභිජානාමි ඉත්‍ථිවා - පුරිසො වා ඉතො ගතො,

අපි ච අට්ඨිසඞ්ඝාටො - ගච්ඡනෙ ස මහාපථෙඞ්ග

[99] වි:ප: ඣානවිභඞ්ග 188

[100] වි:ප: ඛුද්දකවත්‍ථුවිභඞ්ග 261

[101] මහා නි: 161

[102] මහා නි: 162

[103] මහා නි: 166

[104] මහා නි: 164

[105] වි:ප: ඛුද්දකවත්‍ථු විභඞ්ග 261

[106] වි:ප: ඛුද්දකවත්‍ථුවිභඞ්ග 262

[107] වි:ප: ඛුද්දකවත්‍ථුවිභඞ්ග 262

[108] වි:ප: ඛුද්දවත්‍ථුවිභඞ්ග 262

[109] දි:නි: සීලක්ඛන්‍ධවග්ග 7

[110] ම:නි: මූලපණ්ණාසක 11

[111] ම:නි: මූලපණ්ණාසක 11

[112] ථෙරගා:තිසංක නිපාත 307

[113] ම:නි:මූ: 115

[114] අ:නි: සත්තකනි 682

[115] සං:නි: මහාවග්ග 808

[116] ම:නි: මූලපණ්ණාසක 117

[117] පාරා: පා: වෙරඤ්ජකණ්ඩ 9

[118]

[119] “පාතිමොක්ඛං විසොධෙනෙතා - අපෙපව ජීවිතං ජහෙ,

පඤ්ඤතතං ලොකනාථෙන - න භින්‍දෙ සීලසංවරං

අ:නි: අඪකනිපාත 736

[120] සං: නි: සලායතනවග්ග 653

[121] සු:නි: අඨක ව: 131

[122] ධ:ප: යමකවග්ග 2

[123] ස:නි: වංගීසසංයුත්ත 117

[124] ස:නි: වංගීසසංයුත්ත 117

[125] මක්කටොච අරඤ්ඤමහී- වනෙ භන්තමිගො විය,

බාලො විය ච උත්‍රසෙත්‍රා - න භවෙ ලොල ලොචනො;

 

අධො ඛිපෙය්‍ය චක්ඛුනි - යුගමත්තදසො සියා,

වනමක්කටලොලස්ස - න චිතස්ස වසං වජෙ

[126] නියමයට අනුලොම් වසයෙන් ද උපන් ප්‍ර‍ත්‍යය පිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යය වේ. වැළිඳු කිය යුත්තෙක් ඇත. - මුතාඞ්ග

[127] කුලපුත්තමානී අඤ්ඤෙපි - පබ්බජිත්‍වාන සාසනෙ,

මිත්තත්‍ථෙරොච තිට්ඨෙය්‍ය - වරෙ ඉන්‍ද්‍රිය සංවරෙ.

[128] අනෙසනාය විච්චම්පි - අජනෙත්‍වා විචක්ඛණො,

ආජීවං පරසොධ්‍ය - ඬා පබ්බජිතො යති.”

[129] :නි: මූලපණ්ණාසක 13

[130] සු:නි: 61

[131] සු:නි: 61

[132] සු:නි: 61

[133] සු:නි: 52

[134] තස්සමා අඤ්ඤෙපි දුක්ඛස්ස - පත්‍ථයන්තො පරික්ඛයං

යොනිසො පච්චවෙක්ඛිත්‍වා - පටිසෙවෙථ පච්චයෙ

[135] පටි::ඤාණකථා 41

[136] :පකායිනි 142

[137] :පකායිනි 142

[138] පිටි:: ඤාණකථා 41

[139] :නි: චතුක්කනිපාත 190

[140] :නි: චතුක්කනිපාත 190

[141] :නි: චතුක්කනිපාත 190

[142] පටි:: ඤාණකථා 41

[143] පටි:: ඤාණකථා 41

[144] පිටි:: ඤාණකථා 45

[145] පටි: : ඤාණකථා 44-45

[146] :නි: සත්තකනිපාත 651

[147] :නි: පඤ්චක නිපාත 497

[148] :නි: සත්තක නිපාත 695

[149] :වි: මහාක්ඛන්‍ධක 104

[150] :නි: චතුක්කනිපාත 203

[151] :වි: මහාක්ඛන්‍ධක 104

[152] :නි: චතුක්කනිපාත 203

[153] :පා: 189

[154] පාචි:පා: 86

[155] පාචි:පා: 99

[156] පාචි:පා: 114

[157] :පා: නන්‍ධනවග්ග 76

[158] පා:පා: දුතියපාරාජිකා 49-2

[159] වි::ඣාන වි: 190

[160] :නි: ඡක්කනිපාත 548

[161] :: මහාක්ඛන්‍ධක 104

[162] :නි: චතුක්කනිපාත 203

[163] :: මහාක්ඛන්‍ධක 104

[164] සං:නි: වනසංයුත්ත 124

[165] :නි: පඨමපණ්ණාසක 113

[166] :නි: පඨමපණ්ණාසක 113

[167] දි:නි: මහාවග්ග 148

[168] පඨා: : පඤ්හවාර

[169] වි:: ඤාණවිභඞ්ග 246

[170] වි:: ඤාණවිභඞ්ග 246

[171] වි:: ඤාණවිභඞ්ග 246

[172] වි:: ඤාණවිභඞ්ග 246

[173] :වි: විභඞ්ගඪ කථා 282

[174] වි:: ඤාණවිභඞ්ග 246

[175] වි:: ඤාණවිභඞ්ග 246

[176] :දි: පකිණ්ණක කථා 225?

[177] සං:නි: කොසලසංයුත්ත 53

[178] :: මහාක්ඛන්‍ධක 58

[179] :ජො: අඪක ව: වණ්ණ: 437

[180] :: චිත්තුප්පාදකාණ්ඩ 52

[181] දි:නි: මහාවග්ග 116

[182] :නි: නවකනිපාත 832

[183] :කි: මජ්ඣිමපණ්ණාසක 71

[184] :ජො: 34

[185] නි: දසක නි: 904

[186] සං: නි: මහාවග්ග 881

[187] සං: නි: මහාවග්ග 875

[188] සං: නි: මහාවග්ග 875

[189] සං: නි: මහාවග්ග 875

[190] සං: නි: මහාවග්ග 882

[191] සං: නි: මහාවග්ග 882

[192] සං: නි: මහාවග්ග 877

[193] පඨ: : පඤ්හවාර 110

[194] වි: : ඣානවිභඞ්ග 185

[195] සං: නි: මහාවග්ග 68

[196] :නි: මූලපණ්ණාසක 68

[197] නි: : කාමසුත්ත 1

[198] වි: : ඣනවි 194

[199] වි: : න්‍ධානවිභඞ්ග 194

[200] වි: : න්‍ධානවිභඞ්ග 194

[201] 3. වි:: න්‍ධානවිභඞ්ග 194

[202] වි: : ඣානවිභඞ්ග 194

[203] වි: : ඣානවි: 194

[204] වි: : ඣානවි: 195

[205] වි: : ඣානවි: 195

[206] දි.නි: සීලක්ඛන්‍ධවග්ග 57

[207] වි: : ඣාන වි: 185

[208] වි: : ඣාන වි: 194

[209] වි: : ඣානවිභඞ්ග 199

[210] : නි: මහාවග්ග 903

[211] : නි: අඪකනි: 867

[212] වි: : ඣානවිභඞ්ග 185

[213] : සා: රූපාවචරකුසලකථා 162

[214] වි: : ඣානවිභඞ්ග 195

[215] වි: : ඣානවිභඞ්ග 195

[216] වි: : ඣානවිභඞ්ග 195

[217] වි: : ඣානවිභඞ්ග 186

[218] වි: : ඣානවිභඞ්ග 186

[219] වි: : ඣානවිභඞ්ග 195

[220] වි: : ඣානවිභඞ්ග 186

[221] : නි: තිකනිපාත 141

[222] දි: නි: පාථෙයව 166

[223] වි: : අප්පමඤ්ඤ වි 205

[224] සං: නි: මහාවග්ග 855

[225] සං: නි: මහාවග්ග

[226] : : මහාවග්ග 62 බුරුම

[227] : : මහාවග්ග 62 බුරුම

[228] : : මහාවග්ග 62 බුරුම

[229] : : චිත්තුපාදක 13

[230] සං: නි: මහාවග්ග

[231] : සා: අඪකථා 13

[232] වි: : ඣානවිභඞ්ග 186

[233] වි:: ඣානවිභඞ්ග 186

[234] වි:: ඣානවිභඞ්ග 200

[235] වි:: ඣානවිභඞ්ග 186

[236] සං: නි: ඉන්‍ද්‍රියසං: 941

[237] : නි: මූලපන: 299

[238] වි: : ඣානවි: 197

[239] දි: නි: මහාවග්ග 181

[240] :නි: ඡක්කනිපාත 516

[241] 17 නිර්‍දෙශය

[242] 8 පාදය

[243] සු:නි: සෙලසු 79

[244] : නි: මූලපණ්ණාසක 17

[245] දි: නි: සීලක්ඛන්‍ධව 66

[246] : නි: මජ්ඣිමපණ්ණාසක 14

[247] පටි: :

[248] පටි: :

[249] :නි:: පණ්ණාසක 44 පිට

[250] :නි: චතුක්ක නිපාත 219

[251] පටි: : 117 බුරුම අකුරු

[252] වි:: ඛුද්දකනිපාත 589

[253] : නි: මූලප: 330

[254] :නි: චතුක්කනිපාත 199

[255] :නි: චතුක්කනිපාත 209

[256] :: අභිසම්බොධි කථා 7

[257] :නි: චතුක්කනිපාත 262

[258] : නි: සළායතනව: 231

[259] මහා: නි: සාරිපුත්ත සු: 335

[260] වි: : මහාරථ ව: 61

[261] වි: : මහාරථ ව: 61

[262] මහා: නි: සාරිපුත්ත සු: 334

[263] මහා: නි: තිස්සමෙත්තෙය්‍ය සුත්ත 108

[264] : නි: ඡක්කනිපාත 516

[265] : නි: තිකනිපාත 95

[266] :නි: ඡක්කනිපාත 516

[267] :: සහස්සවග්ග 8

[268] :නි: ඡක්තනි 517

[269] :නි: පඤ්චකනි: 371

[270] :නි: පඤ්චකනි: 370

[271] :නි: ඡක්කනි 517

[272] :නි: ඡක්කනි 517

[273] :නි: ඡක්කනි 516

[274] :නි: ඡක්කනි 516

[275] :නි: ඡක්කනි 531

[276] :නි: ඡක්කනි: 532

[277] :නි: ඡක්කනි: 126

[278] :නි: එකාදසමනි: 1095

[279] සං: නි: කොළසං: 62

[280] :නි: ඡක්කනි 528

[281] සං: නි: මාරසං: 65

[282] :නි: සත්තකනි: 700

[283] :නි: සත්තකනි: 700

[284] :නි: අඨකනි: 809

[285]

[286] :නි: එකක නි 27

[287] :නි: එකක නි: 29

[288] :නි: උපරිප: 117

[289] දි:නි: මහාවග්ග 179

[290] දි:නි: මහාව: 179

[291] :නි: මූලපණ්ණාසක 199

[292] :නි: මජ්ඣිම ප: 68

[293] :නි: උපරිපණ්ණාසක 245

[294] :නි: උපරිප: 117

[295] :නි: ඡක්කනිපාත 156

[296] :නි: ඡක්ක 611

[297] සං:නි: බොජ්ඣඞ්ගසං 881

[298] :නි: ආනාපාණසං: 1004

[299] :නි: මූලපණ්ණාසක: 68

[300] : පකාසිනී ආනාපාණසති කථාය 336

[301] : පකාසිනී ආනාපාණස: වණ්ණනා 336

[302] පටි. : ආනාපාණසතිකථා 174 බුරුම

[303] පටි: : ආනාපාණසතිකථා 165 (බුරුම)

[304] පටි: : ආනාපාණසතිකථා 165 (බුරුම)

[305] පටි: : ආනාපාණසතිථා 175 බුරුම

[306] : පකාසිනී ආනා: වණ්ණනා 338

[307] : පකාසිනී ආනාපාණ වණ්ණනා 340

[308] පටි. : ආනාපාණසතිකථා 165 (බුරුම)

[309] පටි. : ආනාපාණසතිකථා 169 (බුරුම)

[310] පටි. : ආනාපාණසතිකථා 166 (බුරුම)

[311] සං:නි: ආනාපාණ සං: 1015

[312] පටි: : ආනාපාණසතිකථා 169 (බුරුම)

[313] : පකාසිනී ආනාපාණ: : 344

[314] පටි: : ආනාපාණසතිකථා 185 (බුරුම)

[315] පටි. : ආනාපාණසතිකථා 186 (බුරුම)

[316] :නි: :සං: 1004

[317] :නි: :සං: 1014

[318] :නි: මජ්ඣිමප: 72

[319] :නි: චතුක්කනිපාත 209

[320] :නි: තිකනිපාත 132

[321] දී:නි: මහාවග්ග 31

[322] :: බ්‍රාහ්මණ ව: 36

[323] සං:නි: 382

* මෙය සන්නයෙහි මෙසේ විස්තර කරයි.“ඇමති පුත් තෙමේ සිල් පිහිටා පිහිත වූ දොර ඇති ගර්‍භයෙහි යහන් පිට හිඳැ මෛත්‍රී වඩනුයේ මෛත්‍රී මුඛයෙන් උපන් රාගයෙන් කණ වූයේ භාර්‍ය්‍යාව සමීපයට යනු කැමැත්තේ දොර නො දැක භිත්තිය බිඳැ ගෙනැ ගනු කැමැති වැ භිත්තිය පහළයැයි දත යුතු.”

[325] වි:: අප්පමඤ්ඤා වි: 206

[326] පටි:. මෙත්තා කථා 316

[327] බු:: 8

[328] :නි: කොසල සං: 46

[329] :නි: මූලපණ්ණාසක 142

[330] :නි: සක්කුස 140

[331] :නි: සත්තකනි 674

[332] :නි: චතුක්කනි 249

[333] :නි: පඤ්චකනි 475

[334] :: පාපවග්ග 12

[335] :නි: අනමතග්ග සං: 266

[336] :නි: එකාදසමනි 1103

[337] සං:නි: රාධසංයුත්ත 478

[338] වි:: අප්පමඤ්ඤා වි: 206

[339] වි:: අප්පමඤ්ඤා වි: 208

[340] වි:: අප්පමඤ්ඤා වි: 208

[341] :නි: ඡක්කනි: 591

[342] :නි: සළායතනවග්ග 227

[343] :නි: සළායතනවග්ග 227

[344] :නි: සළායතනවග්ග 228

[345] :නි: අඨකනි: 798

[346] :නි: අඨකනි: 798

[347] :නි: අඨකනි: 798

[348] සං:නි: බොජ්ඣඞ්ගසං 885

[349] පටි::මහාපඤ්ඤා කථා 376 බුරුම

[350] :නි: මජ්ඣිමපණ්ණාසක 59 පිට

[351] :නි: මජ්ඣිමපණ්ණාසක 112 පිට

[352] වි:: ඣානවිභඞ්ග 186 පිට

[353] :නි: අඨකනිපාත80

[354] 199 පිට

[355] පිට 4 801 පිට

[356] වි:: ඣානවිභඞ්ග 197 පිට

[357] වි:: ඣානවිභඞ්ග 197 පිට

[358] වි:: ඣානවිභඞ්ග 197 පිට

[359] වි:: ඣානවිභඞ්ග 198 පිට

[360] වි:: ඣානවිභඞ්ග 186 පිට

[361] වි:: ඣානවිභඞ්ග 198 පිට

[362] වි:: ඣානවිභඞ්ග 186 පිට

[363] වි:: ඣානවිභඞ්ග 198 පිට

[364] වි:: ඣානවිභඞ්ග 186 පිට

[365] වි:: ඣානවිභඞ්ග 186 පිට

[366] වි:: ඣානවිභඞ්ග 186 පිට

[367] වි:: ඣානවිභඞ්ග 198 පිට

[368] :නි: නවක නිපාත 832

[369] වි::ටී:කා 344 පිට

[370]දී:නි: මහාවග්ග 177 පිට

[371] :නි: මූලපණ්ණාසක 194 පිට

[372] :නි: මජ්ඣිමපණ්ණාසක 68 පිට

[373] :නි::: 265 පිට

[374] වි:: ධාතු විභඞ්ග 62 පිට

[375] දී:නි: මහාවග්ග 180 පිට

[376] :නි: මූලපණ්ණාසක 196 පිට

[377] :නි: මූලපණ්ණාසක 197 පිට

[378] :නි: මූලපණ්ණාසක 197 පිට

[379] :නි: මජ්ඣිම පණ්ණාසක 68 පිට

[380] වි:: 62 පිට

[381] :නි: මූලපණ්ණාසක 199 පිට

[382] :නි: උපරිපණ්ණාසක 246 පිට

[383] අත්‍ථසාලිනී ධම්මුදේදස්වාර 116-273

[384] සිං: වි: 306 පිට

[385] :නි: අඨකනිපාත 735

[386] කාෂ්ටමුඛ

[387] පූතිමුඛ

[388] අග්නිමුඛ

[389] පඨවිධාතු

[390] ආපොධාතු

[391] ශස්ත්‍ර‍මුඛ

[392] :නි: මූලපණ්ණාසක 42 පිට

[393] සං:නි: සච්චසංයුත්ත 1069

[394] :නි: තිකනිපාත 104

[395] :නි: උපරිපණ්ණාසක 52 පිට

[396] වි:: ධම්මහදයවිභඞ්ග 311

[397] පිටි:: නිරොධ සමාපත්ති ඤාණනිදේදස 94 පිට (බුරුම)

[398] දී:නි: සීලක්ඛන්‍ධවග්ග 60 පිට

[399] සිං: විශු: 191 පිට

[400] එහිම 233 පිට

[401] දී:නි:සීලක්ඛන්‍ධවග්ග 60 පිට

[402] :නි: එකකනිපාත 4

[403] :නි: මූලපණ්ණාසක 37

[404] :නි: මූලපණ්ණාසක 25

[405] මහා:නි: 1

[406] :නි: අඨකනිපාතය 759

[407] පටී:වි: අඨකථා 491-494

[408] පටි:: අඨකථා 494-500

[409] :: ඉද්ධි කථා 390 (බුරුම)

[410] :: ඉද්ධි කථා 390 (බුරුම)

[411] සං:නි: යක්ඛසං : 131 පිට

[412] පෙ:: 140

[413] පටි:: ඉද්ධි කථා

[414] පටි:: අඨකතා 502-509

[415] පටි:: ඉද්ධි කථා 391 (බුරුම)

[416] පටී:: අඨකථා 510 පිට

[417] දී:නි: සීලක්ඛන්‍ධවග්ග 159 පිට

[418] :: ඉද්ධි කථා 383 (බුරුම)

[419] පටි:: ඉද්ධි කථා 383 (බුරුම)

[420] වි:: ඉද්‍ධි පාද විභඞ්ග 166 පිට

[421] පටි:: ඉද්ධි කථා 383 පිට (බුරුම)

[422] පටි:: ඉද්ධි කථා 383 පිට (බුරුම)

[423] පටි:: ඉද්ධි කථා 385 පිට

[424] සං:නි: කොසල සංයුත්ත 49 පිට

[425] පටි:: අඨ කථා 424 පිට

[426] පටි:: ඉද්ධි කථා 386 බුරුම

[427] :නි: තිකනිපාත 68 පිට

[428] සං:නි: චිත්ත සං: 734 68 පිට

[429] :නි: මූලපණ්ණාසක 324

[430] පටි:: ඉද්ධිවිධි 386 බුරුම

[431] පටි:: ඉද්ධිකථා 386 පිට බුරුම

[432] වි:: ටීකා 392 පිට

[433] පටි:: ඉද්ධි කථා 386 පිට

[434] පටි:: ඉද්ධිකථා 387 පිට

[435] පටි:: ඉද්ධිකථා 387 පිට

[436] ‍පටි:: ඉද්ධිකථා 387 පිට

[437] වී:: ටීකා 397 පිට

[438] වී:: ටීකා 397 පිට

[439] පටි:: ඉද්ධිකථා 388 පිට

[440] වූ.: සංඝභෙදක්ඛන්‍ධකය 266

[441] පටි:: ඉද්ධිකථා 389 බුරුම

[442] දී:නි: සීලක්ඛන්‍ධ ව: 61 පිට

[443] පටි:: ඤාණ කථා 109 පිට බුරුම

[444] :නි: තිකනිපාත 139

[445] :නි: සත්තකනිපාත 678

[446] දී:නි: පාටිකවග්ග 53 පිට

[447] දී:නි: පාඨීයවග්ග 50

[448] දී:නි: සීලක්ඛන්‍ධවග්ග 62

[449] පටි:: අඨකථා මහාවග්ග 260

[450] :නි: මූලපණ්ණාසක 227

[451] :නි: එකක නිපාත 29

[452] සි:වි: 209 පිට

[453] :නි: උපරිපණ්ණාසක 208

[454] අත්‍ථසාලිනී අඨකථා 347

[455] :පකරණ පඤ්හවාර 92 පිට

[456] වි:: පටිසම්භිදා වි: 230 පිට

[457] සං:නි: දෙවතා සං: 8 පිට

[458] :: 69 පිට

[459] වි:: ඤාණ විභඞ්ග 242 පිට

[460] වි:: ඤාණවිභඞ්ග 243

[461] වි:: ඤාණවිභඞ්ග 243

[462] වි:: ඤාණවිභඞ්ග 243

[463] වි:: ඤාණවිභඞ්ග 247

[464] වි:: පටිසම්භිදා විභඞ්ග 221

[465] වි:: පටිසම්භිදා විභඞ්ග 222

[466] පටි:: අඨකථා 5

[467] :නි: මූළපණ්ණාසක 135-213

[468] සං:නි: ඛන්‍ධසංයුත්ත 400 පිට

[469] වසුධම්ම සන්‍ය යි

[470] .: පඤ්හවාර III

[471] අත්‍ථ:නී: රූපකණ්ඩ 267

[472] ශීතස්පර්‍ශවත්‍යාප: (කණාද)

[473] :: පච්චය නිදේදස 4

[474] :: රූපකණ්ඩ 113 පිට

[475] එහෙත් නූතන හැම වියතුන්ම පාහේ සිත මොළය (මත්‍ථලුඞ්ගය ඇසුරු කොට පවත්නා බව නන් අයුරින් පරීක්ෂණ පවත්වා තීරණය කොට තිබේ. එය දැනට පිළිගෙන ඇතත්, සිත අරමුණු ගැනීමේදී පවත්නා, චක්‍ෂුරාදි වස්තු සතරක් හෝ පසක් හිසේම පිහිටා තිබෙන හෙයින් හා අරමුණු ගැනීමේදී ඒ වස්තූන් ඇසුරින් සිතේ පැවැත්ම වන හෙයින්ද, එම වස්තූන් හා හෘදය වස්තුව අතර පවත්නා මොළය, ඉතා සියුම් ස්නායුන්ගෙන් සම්බන්ධව පවත්නා හෙයින්ද ඒ චක්‍ෂුරාදි පඤ්ච වස්තූන් ගේ ආශ්‍ර‍යයෙන් අරමුණු ගැනීමේ දී සිත එසේ පැවැත්ම විය හැකි ය. තවද හෘදය වස්තුව මුළු ශරීරයේ ජීවරුධිරය පතුරුවන මූලස්ථානය බව සියල්ලන් ගේ පිළිගැනීම ය. ඒ ලෙය සියලු ශරීරයේ ගමන් කරවන සියුම් ස්නායුන් හෘදය හා සම්බන්ධව පවතී. හෘදය වස්තුව ආශ්‍ර‍ය කරන ඒ ලෙයෙහි ඇති ප්‍ර‍සාද ගතියක් වස්තුකොට පවත්නා මනෝධාතු-මනෝ විඤ්ඤාණධාතු සංඛ්‍යාත (ද්විපඤ්ච විඤ්ඤාණ හැර) සියලු චිත්ත සන්තතිය ඒ ඒ වස්තූන්හි පවත්වමින් ද්වාරයන් ඇසුරෙන් ආලම්බනයන් ගැනීමේද හෘදය හා ඉන්‍ද්‍රියයන් අතර මධ්‍යස්ථානයේ (මොළයේ) ද ආශ්‍ර‍ය ලැබීම පෙර කී සේ ඉතා සියුම් ස්නායු සම්බන්ධය නිසා සිදුවන බව නිශ්චය කළ හැකිය.

 

[476] :: රූපකණ්ඩ 140 පිට

[477] අත්‍ථසාලිනී 282

[478] :: රූපකණ්ඩ 112-162

[479] අත්‍ථසාලිනී රු:: 291

[480] :නි: මූලපණ්ණාසක 295 පිට

[481] අත්‍ථසාලිනී චිත්තුප්පාදවණ්ණනා 258

[482] වි:: ධාතුවිභඞ්ග 67 පිට

[483] වි:: ධාතුවිභඞ්ග 68 පිට

[484] වි:: ධාතුවිභඞ්ග 68 පිට

[485] :නි: මූලපණ්ණාසක 296

[486] :නි: මූලපණ්ණාසක 296

[487] සං:නි: ඛන්‍ධසංයුත්ත 401

[488] සිං:වි: 215 පිට

[489] සිං:වි: 650 පිට

[490] සිං:වි: 454-456 පිට

[491] වි:: ඛන්‍ධවිභඞ්ග 1 පිට

[492] වි:: ඛන්‍ධවිභඞ්ග 4 පිට

[493] වි:: ඛන්‍ධවිභඞ්ග 2 පිට

[494] වි:: ඛන්‍ධවිභඞ්ග 9 පිට

[495] වි:: ඛන්‍ධවිභඞ්ග 3

[496] වි:: ඛන්‍ධවිභඞ්ග 3 පිට

[497] වි:: ඛන්‍ධවිභඞ්ග 4

[498] වි:: ඛන්‍ධවිභඞ්ග 3-4

[499] වි:අඨකථා ඛන්‍ධ වි: 21

[500] සං:නි: ඛන්‍ධසංයුත්ත 353

[501] සං:නි: ඛන්‍ධසංයුත්තක 474

[502] :: චිතුප්පාදඛණ්ඩ 105

[503] සං:නි: සළායතන සං: 656

[504] සං:නි: ඛන්‍ධසංයුත්ත 338

[505] සං:නි: ඛන්‍ධසං: 401

[506] සං:නි: ඛන්‍ධක 412

[507] :නි: තිකනිපාත 154

[508] :නි: උපරිපණ්ණාසකය 290

[509] සං:නි: සළායතන සංයුත්තක 656

[510] :නි: උපරිපණ්ණාසකය 245

[511] සි:වි: 650 ද්විතීය

[512] සි:වි: 725 පිට

[513] වි:: ධාතුවිභඞ්ග 65

[514] සි:වි: 17 නිර්‍දෙශය

[515] සිං:වි: 728

[516] සිං:වි: 699

[517] සිං:වි: 650

[518] පඨා : : පච්චයනිදේදස 6

(“චක්ඛුන්‍ද්‍රියං” යනු ය එහි වනුයේ)

[519] සං:නි: දෙවතා සංයුත්ත 23

[520] වි:: සච්ච විභඞ්ග 82

[521] සම්මොහවිනොදනී 85

[522] පටි:: සච්ච කථා 293 පිට

[523] පටි:: සච්ච කථා 294 පිට

[524] සං:නි: සච්චසංයුත්තක 1082

[525] සං:නි: සච්චසංයුත්තක 1083

[526] සං:නි: සච්චසංයුත්තක 1082

[527] සං:නි: සච්චසංයුත්ත 1083

[528] සං:නි: සච්චසංයුත්තක 1080

[529] සං:වි: සච්චවි: වණ්ණනා 60

[530] තෘෂ්ණාව

[531] නීරොධය

[532] මාර්‍ගසත්‍යය

[533] :: කොධවග්ග 21

[534] සූ:නි: අඨකවග්ග

[535] වි:: සච්චවිභඞ්ග 87

[536] සං:නි: ධම්මචක්කසංයුත්තක 1079

[537] සං:නි: සච්චසංයුත්තක 1074

[538] වි::ඤාණ විභඞ්ග 258

[539] :නි:තික නිපාත 125

[540] ධා:: සංගහාසංගහ 11

[541] :: මහාකඛන්‍ධක 85

[542] දී:නි: මහාවග්ග 17

[543] :නි: තකනිපාත 99

[544] :නි: මජ්ඣිමපණ්ණාසක 225

[545] වි:: සච්චවිභඞ්ග 77

[546] :නි: උපරිපණ්ණාසක 180

[547] ධා: : සංගහාසංගහ 11

[548] සු:නි: මහාවග්ග 81

[549] වි:: පච්චයාකාර වි: 104

[550] :වි: සච්චවි: 71

[551] සන්‍ධිබන්‍ධන

[552] මර්‍මස්ථාන

[553] :වි: සච්චවි:වණ්ණා 72

[554] නැවත නැවත

[555] :වි: විභඞ්ගකථා 73

[556] :වි:විභඞ්ගකථා 73

[557] ඤාති ව්‍යසන

[558] උපයාස

[559] :වි: විභඞ්ගඪ කථා 75

[560] උපක්‍ර‍ම

[561] එක්වීම

[562] ඉතාප්‍රිය

[563] අන්‍ධ බාල

[564] :වි: විභඞ්ගඪ කථා 76

[565] පඤ්චූපාදානස්කන්ධ

[566] දුඃඛාන්තය ප්‍ර‍තිවෙධ කළ

[567] වි:: සච්චවිභඞ්ග 77

[568] වි:: සච්චවිභඞ්ග 78

[569] :වි: විභඞ්ග කථා 80

[570] :: තණ්හාවග්ග 40

[571] සං:නි: ජම්බුඛාදක සංයුත්ත 709

[572] සං:නි: ජම්බුඛාදක සංයුත්ත 710

[573] :: අභිසම්බොධි කථා 4

[574] :නි: මජ්ඣිමපණ්ණාසක 137

[575] සාඞ්ඛ්‍යදර්‍ශන (කූටඪානිච්චතාහි ඉධ අධිපෙත්තා. ටීකා.)

[576] ඉතිවුත්තක දුතිය නිපාත 163

[577] කණාද

[578] ඉතිවුත්තකදුතියනිපාත 163

[579] :: දුකමාතිකා 3

[580] උදානාපාටලිගාමිකවග්ග 129

[581] :: අභිසම්බොධිකථා

[582] සං:නි: අසඞ්ඛත සංයුත්තක 784

[583] පටි::: මහාවග්ග 6 බුරුම

[584] වි:: සච්චවිභඞ්ග 81

[585] සං:නි: සච්චසංයුත්තක 108

[586] සං:නි: නිදානසංයුත්ත 163

[587] සං:නි:නිදානසංයුත්ත 163

[588] දී:නි: සීලක්ඛන්‍ධවග්ග 48

[589] ලොකථුපිකා යන්නට නෙවසඤ්ඤානාසඤ්ඤායතනයැයි ද මතයෙකි.

[590] :වි: විභඞ්ගඪ කථා 61

[591] වි:: 295

[592] දි:නි: සීලක්ඛන්‍ධවග්ග 57

[593] සං: නි: ඛන්‍ධසංයුත්ත 430

[594] :වි: විභඞ්ගඪ කථා 62

[595] :නි: මජ්ඣිමපණ්ණාසක 303

[596] සං:නි: සච්චසංයුත්තක 1095

[597] සිං: වි: බන්‍ධනිර්‍දෙශ 638

[598] සං:නි: නිදානවග්ග 153

[599] සං:නි: නිදානවග්ග 168

[600] සං:නි: නිදානවග්ග 153

[601] :: ඤාණකථා 1

[602] සාඞ්ඛ්‍ය

[603] අභයගිරිකයෝ

[604] සං:නි: නිදානවග්ග 153

[605] :: බෝධිකථා 4

[606] සං:නි: මග්ගසංයුත්ත 813

[607] සං:නි: මග්ගසංයුත්ත 813

[608] සං:නි: සළායතනවග්ග 652

[609] සං:නි: නිදානවග්ග 153

[610] දි:නි: මහාවග්ග 35

[611] :නි: චතුක්කනිපාත 293

[612] : පා: පඨමපාරාජික 161

[613] සත්ත්‍වයා

[614] පටිච්චසමුප්පාදය

[615] ව්‍යාඛ්‍යාන

[616] දම්+අරුත්

[617] සං:නි: නිදානවග්ග 155

[618] :නි: මූලපණ්ණාසක 269

[619] :නි: මූලපණ්ණාසක 264

[620] සං:නි: නිදානසංයුත්ත 159

[621] :නි: මූලපණ්ණාසක 57

[622] :නි: දශක නිපාත 965

[623] :නි: දශක නිපාත 967

[624] සං:නි: ආහාරවග්ග 72

[625] සං:නි: දුක්ඛවග්ග 204

[626] සං:නි: ආහාරවග්ග 167

[627] සං:නි: සච්චසංයුත්තක 205

[628] සං:නි: නිදානසංයුත්ත 211

[629] සං:නි: බ්‍ර‍හ්මසංයුත්ත 97

[630] සං:නි: නිදානවග්ග 203

[631] :නි: තිකනිපාත 67

[632] :නි: මූලපණ්ණාසක 57

[633] සං:නි: වෙදනාසංයුත්තක 678

[634] :: අභිසම්බොධි කථා 1

[635] සං: නි: නිදානවග්ග 154

[636] වි:: සුත්තන්තභාජනිය 105

[637] :නි: මූලපණ්ණාසක 23

[638] :: පච්චයුද්දෙස 1

[639] :: මහාකඛන්‍ධක 32

[640] :සං: නික්ඛෙපකණ්ඩ 175

[641] පරමත්‍ථදීපනී 258

[642] :: පච්චය නිද්දෙස 1

[643] :නි: එකක නිපාත 8

[644] :: පච්චය නිද්දෙස 1

[645] :: පච්චය නිද්දෙස 2

[646] :: පච්චය නිද්දෙස 2

[647] :: තිකපඨාන 97

[648] :: පච්චය නිද්දෙස 4

[649] :: පච්චය නිද්දේස 4

[650] :: පච්චය නිද්දෙස 4

[651] :: පඤ්හවාර 102

[652] :: පඤ්හවාර 102

[653] :: පච්චය නිද්දෙස 2

[654] :: පච්චය නිද්දෙස 104

[655] :: පච්චය නිද්දෙස 5

[656] :: පච්චය නිද්දෙස 6

[657] :: පච්චය නිද්දෙස 6

[658] :: පඤ්හවාර 111

[659] :: පඤ්හවාර 6

[660] :: පච්චය නිද්දෙස 6

[661] :: පඤ්හවාර 112

[662] :: පච්චය නිද්දෙස 6

[663] :: පඤ්හවාර 113

[664] :: පච්චය නිද්දෙස 6

[665] :: පච්චය නිද්දෙස 6

[666] :: පච්චය නිද්දෙස 6

[667] ‍ප:: පඤ්හවාර 115

[668] :: පඤ්හනාර 115

[669] පූ:: මාතිකා 7

[670] :: පච්චයනිද්දෙශ 6

[671] :: පඤ්හවාර 116

[672] එම 117

[673] එම 118

[674] :: පච්චය නිද්දෙස 7

[675] :: පඨම බොධි කථා 1

[676] සං:නි: නිදාන ව: 196

[677] සං: නිදානවග්ග 205

[678] භගවත් ගීතාහි 2 අධ්‍යාය. “වස්ත්‍රාණි ජීණිනානි” යනාදී ශෛලාක ආශ්‍රයෙනි.

[679] මේ මක්ඛලිගොසාලවාදයය

[680] ධං:සං: චිත්තවිභත්ති 91

[681] එම 109

[682] එම 92

[683] :සං: චිත්තවිභත්ති 91

*කර්මයෙන්

+භේදයෙන්

[684] :සං: චිත්තවිභත්ති 82

* දෙකෙක් වේ                     + භාවයෙනුදු

[685] :: පඤ්හවාර 105

[686]* භූමාටු                                          ++යොනියෙහි

 

[687] *සංසෙදජ ඔපපාතික යොනි දෙකෙහි                          +උත්කෘෂ්ට වශයෙන්

[688] වි:: ධම්මභදය වි:302

[689] පර:දීපනි 2

[690] *ස්කන්‍ධ - ආලම්බන - ගති - හෙතු - වෙදනා                +ප්‍රීති - විතර්‍ක-විචාරයෙන්

[691] *භවාන්තර

[692] :නි: මජ්ඣිමපණ්නාසක 250

[693] *එකත්‍ව - නානාත්‍ව

[694] :: චිත්තවිභත්ති 82

[695] *ප්‍ර‍වෘත්ති

[696] සි:වි: 14 නිර්දේශය

[697] හෙතු විපාක අවිපාක

[698] :: නිකෙඛපඛණ්ඩ 193

[699] :: පඤ්හවාර 98

[700] *වෙදනා - සඤ්ඤා සඞ්ඛාර                           + භූත වස්තු ආදිය

[701] වි:: පච්චයාකාර විභඞ්ග 111

[702] *ආයතන

[703] චක්ඛුසම්ඵස්ස                 * අධ්‍යාත්මික         1 වි:: පච්චයාකාරවි: 111

[704] *ස්පර්‍ශය

[705] චක්ඛුසම්ඵස්සාදි

[706] වි:: පටිච්චසමුප්පාදවිභඞ්ග 105

[707] තෘෂ්ණා

[708] :: නිකෙඛපඛණ්ඩ 194

[709] :: නිකේඛපඛණ්ඩ 194

[710] :: නිකේඛපඛණ්ඩ 195

[711] :සාලිනී නිකේඛප 322

[712] වි:: පච්චයාකාර වි: 106

[713] වි:: පච්චයාකාර වි: 106

[714] වි:: පච්චයාකාර වි: 107

[715] වි:: පච්චයාකාර වි: 105

[716] *උපාදාන          +උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය  ** කාමභවයට       ++ සහජාත

[717] :නි: උපරිපණ්ණාසක 214           

[718] *කාරක - වෙදක

[719] සු:නි: අඨකවග්ග 105

[720] :: පියව: 20

[721] සං:නි: ඛන්‍ධසංයුත්ත 350

[722] :නි: චතුක්කනිපාත 208

[723] :නි: උපරිපණ්ණාසක 178

[724] :: අභිසම්බොධි කථා 1

[725] * හෙතුඵල        **ත්‍රි සන්ධි            ***විසි + අයුරු

[726] :: ඤාණ කථා 50 (බුරුම)

[727] :: ඤාණ කථා 50 (බුරුම)

[728] :: ඤාණ කථා 50 (බුරුම)

[729] එම 51 (බුරුම)

[730] දී:නි: මහාවග්ග 34

[731] වි:: පටිසම්භිදාවිභඞ්ග 221

[732] සං:නි: ආහාරවග්ග 159

[733] සං:නි: සළායතන ව: 562

[734] සං:නි: නිදානවග්ග 205

[735] දී:නි: මහාවග්ග 34

[736] පටිච්චසමුප්පාදයෙහි

[737] :නි: මූලපණ්ණාසක 199

[738] :පා: දුකනිපාත 166

[739] *සංස්කරණය කළ          + යන්ත්‍ර‍යක්

[740] *ඵස්ස - වෙදනා - සඤ්ඤා - චෙතනා - චිකත යන පඤ්ච ධර්‍මය

+ නැහැයෙන්

**හෘදය වස්තු රූපයෙන්                     ++ඵස්ස පඤ්චම ධර්‍ම

[741] *ජනක ප්‍ර‍ත්‍යය හා ආලම්බන ප්‍ර‍ත්‍යය දෙක    +නාමකය

[742] සං:නි: සළායතනවග්ග 652

[743] :: කම්මකථා 271 (බුරුම)

[744] * ශාස්වත         +උච්ඡෙද               sතෘෂ්ණා               Ÿතෘෂ්ණා සැඩ පහර            

wආත්ම භාවයෙන් ශුන්‍ය වූ                 ©කර්‍මය නැති කල්හි             **ඵලයෙන්

++ හෙතු ප්‍ර‍ත්‍යය  qශුද්ධධර්‍ම මාත්‍ර‍ය

 

[745] *(මනොධාතු) පඤ්චද්වාරාවර්‍ජනය  +(සක්විණැන) ඉන්=පඤ්චද්‍වාරාවර්‍ජනයෙන්

Ÿඒ පඤ්චද්වාරාවර්‍ජනයට                     ©චුති සිත

o චුති ප්‍ර‍තිසන්ධි අතර                        §චුතිසිතට හා ප්‍ර‍තිසන්ධි සිතට අතර                  

w චුති සිතින්                                       ¦ප්‍ර‍තිසන්ධි සිත

[746] :: ඤාණ කථා 50 (බුරුම)

[747] *කඞ්ඛාවිතරණයෙහි        sප්‍ර‍ත්‍යය                 +පරිග්‍ර‍හ

[748] :: මාතිකා 2 (බුරුම)

[749] :: අභිඤෙඤය්‍ය නිද්දෙස 6

[750] ප:ම: ඤාණ කථා 51 (බුරුම)

[751] එම 46 (බුරුම)

[752] අ:නි: චතුක්ක නිපාතය 208

[753] ප:ම: ඤාණ කථා 46

[754] සං:නි: ඛන්‍ධකසංයුත්ත 367

[755] ප:ම: සම්මසන ඤාණ නිද්දෙස 52

[756] ප:ම: විපස්සන කථා 411

[757] අ:නි: එකකනිපාත 7

[758] ප:ප: පච්චය නිදෙදස 5

[759] * ජීවිතේන්‍ද්‍රිය - වෙදනා - විඥානයන් තබා අවශිෂ්ට ධර්‍මයෝ සංඥා යැ යි ද සමහරු යෙති. (මේ සත්‍ය මත යැ) එහෙත් ජීවිතය ආයු ප්‍ර‍මාණ යැයි ද - ආත්ම භාවය උෂ්ම යැ යි ද වේදනා විඥාන යැ යි ද ගණ්ඨියෙහි සඳහනි.

[760] ½ චිත්ත භඞ්ගයෙන් සම්මුති මාත්‍ර‍ය                නිරද්‍ධ ධර්‍ම

[761] විවාර්‍ය්‍යයි.

[762] ප:ම: විමොක්ඛ කථා 259

[763] ප:ම: ඤාණ කථා 52

[764] ප:ම: ඤාණ කථා 53

[765] දී:නි: මහාවග්ග 20-34

[766] වි:ප: පච්චයාකාරවි 109

[767] ප:ම: ඤාණ කථා බුරුම 53

[768] ප:ම: යුගනධකථා 290

[769] සං:නි: ඛන්‍ධවග්ග 351

[770] ප:ම: ඤාණකථා 65 (බුරුම)

[771] ප:ම: ඤාණකථා 56 (බුරුම)

[772] ධ:ප: ලොකවග්ග 16

[773] ප:ම: විමොක්ඛකථා 259 (බුරුම)

[774] ප:ම: ඤාණකථා 57 (බුරුම)

[775] *ටීකාහි ඛයදර්‍ශනයැ යි කී ව්‍යතිරෙක දර්‍ශන යනු මැනවි.

[776] ප:ම: ඤාණකථා 259 (බුරුම)

[777] ප:ම: විමොක්ඛකථා 259

[778] සං:නි: නිදානවග්ග 198

[779] අ:නි: තිකනිපාත 126

[780] සු:නි: පාරායනවග්ග 149

[781] ප:ම: විමොක්ඛකථා 144

[782] ප:ම: විමොක්ඛ කථා 240

[783] වි:ප: ඣානවිභඞ්ග 202

[784] ප:ම: විමොක්ඛ කථා 247

[785] ප:ම: ඤාණකථා 58

[786] ස:ප: ඤාණකථා 259

[787] ම:ව: අභිසම්බොධි කථා 9

[788] සු:නි: 111

[789] ම:නි: උපරිපණ්ණාසක 272

[790] ම:නි: උපරිපණ්ණාසක 230

[791] ම:නි: මූලපණ්ණාසක 151

[792] සං:නි: නිදානවග්ග 229

[793] දී:නි:සී: සීලකනඛන්‍ධවග්ග 134

[794] දී:නි: පාඨිකවග්ග 185

[795] ප:ම: 259

[796] ප:ප: පඤ්හවාර 96

[797] ම:නි: මූලපණ්ණාසක 150

[798] ප:ම: ඤාණකථා 63

[799] ඛු:පා: 4

[800] සං:නි: සොතාපත්තිසංයුත්ත 1037

[801] වි:පි: ඉද්ධිපාද විභඞ්ග 166

[802] ප:ම: ඥානකථා 63

[803] ප:ම: ඥානකථා 66

[804] ප:ම: ඥානකථා 67

[805] ප:ම: යුගනඞ කථා 289

[806] කථා:ප: 337

[807] කථා:ප: 338

[808] සං:නි: සච්චසංයුත්ත 1084

[809] ප:ම: මහාවග්ග 114

[810] ප:ම: සච්චකථා 296

[811] ප:ම: මහාවග්ග 113

[812] ප:ම: ඤාණකථා 84

[813] එම 85

[814] එම 6

[815] එම 12

[816] ප:ම: ඤාණකථා 84

[817] එම 85

[818] එම 26

 

[820] ප:ම: ඤාණකථා 26

[821] ප:ම: ඤාණකථා 84

[822] එම 34

[823] ප:ම: ඤාණකථා 68

[824] ප:ප: 544

[825] ප:ම: ඤාණකථා 65

[826] ම:නි: මූලපණ්ණාසක 299

[827] ම:නි: මූලපණ්ණාසක 299

[828] ප:ප: පඤ්හවාර 99

[829] ප:ම: ඤාණකථා 94

[830] ප:ප: පඤ්හවාර 97

[831] මේ ඉද්ධිවිධ නිර්‍දෙශයේ විස්තර වී 556

[832] ම:නි: මූලපණ්ණාසක 304

[833] ම:නි: මූලපණ්ණාසක 299

[834] *දිඨධම්මික (=ඉහතාමයෙහි)

[835] §සනත

[836] ½සම්ප්‍ර‍යුක්ත