සරල පාලි ශික්‍ෂකය

 

 

 

බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය

මහානායක ස්වාමීන්‍ද්‍ර‍යන් වහන්සේ

විසින් සම්පාදිතයි.

 

 

 

 

 

 

 

 

 

මුද්‍ර‍ණය හා ප්‍ර‍කාශය

මොඩන් පොත් සමාගම

නුගේගොඩ


ප්‍ර‍ථම මුද්‍ර‍ණයේ හැඳින්වීම

 

මේ කලකට පෙර අප විසින් ලියා පළ කරවන ලද පාලි ශික්‍ෂකයේ දෙවෙනි සැකැසුමයි. පළමු සැකැසුමට වඩා මෙහි පාඩම් ද වැඩි කොට ඇත. මෙය මැනැවින් උගත්තහුට කවර පාලි පොතක් වුව ද ඉගැනීම ලෙහෙසියෙන් කළ හැකි ය.

 

මෙහි සමහර තැන් පැරැණි පාලි වෛයාකරණයන් ඉගැන්වූ ක්‍ර‍මයට වෙනස් වූ මඟක් ගෙන ඇත. ඒ ආධුනිකයන් ගේ පහසුව පිණිස ය. 59 වැනි පිටේ අංක 29 යේ සමාන ස්වර දීර්‍ඝ සන්‍ධිය එයට නිදසුනි. පැරැණි පාලි වියරණැදුරන් මෙය දක්වා ඇත්තේ සමාන ස්වර දෙකින්  පළමු එක ලොප් කොට පසු එය දීර්‍ඝ කිරීම ය. එහෙත් මේ සන්‍ධි පිළිබඳව සකු ඇදුරන් ඉගැන්වූ සැටිය වඩා සරල බැවින් එය මෙහි අනුගමනය කළමු. කොයි සැටියෙන් හෝ පදසිද්ධිය කැරේ නම් එය ප්‍ර‍මාණ ය.

 

තව ද සිංහල ව්‍යාකරණවත් නොදන්නා කුඩා සිසුනට එක් පැහැර ම පාලි ව්‍යාකරණ ඉගැන්ම දුෂ්කර ය. එබැවින් ප්‍රාරම්භ පාඨ වශයෙන් යම්තමින් සිංහල ව්‍යාකරණයට බැසීම පිණිස පාඩම් කීපයක් මුලට එක් කළමු. එය හොඳට උගත් ශිෂ්‍යයාට එයින් එහා පාලි පාඩම් ඉගැනීම පහසු වෙයි.

 

මෙයින් දුහුනනට වැඩෙක් ම වේවයි පතමු.

 

බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්ථවිර

 

1972.11.29

බළන්ගොඩ උඩුමුල්ලේ

ශ්‍රී නන්‍දාරාමයේ දීය.


පටුන

 

ප්‍රාරම්භ පාඨ

1.     පද - කර්‍තෘ /1

2.    කර්‍මය /2

3.     කරණය /3

4.    සම්ප්‍ර‍දානය /4

5.    අපාදානය /5

6.    සම්බන්‍ධය /6

7.    ආධාරය /7

8.     ආලපනය /8

9.    සංඛ්‍යා (නාම පද) /9

10.  සංඛ්‍යා (ක්‍රියා පද) /10

11.   පුරුෂ තුන /11

12.  කාල තුන /12

13.   උක්ත අනුක්ත /14

14.  ලිඞ්ග භෙදය /16

15.  විශෙෂණ විශෙෂ්‍ය /18

16.  අව්‍යය (නිපාත උපසර්‍ග) /20

17.  පූර්‍ව ක්‍රියා /21

18.   අර්‍ථක්‍රියා මිශ්‍ර‍ක්‍රියා /23

*    *    *    *

 

1. පාලි හෝඩිය /25

2. විභත්ති /27

3-1. පඨමා විභත්‍යන්ත පළමු කොටස (ඒකවචන) /29

3-2. පඨමා විභත්‍යන්ත දෙවන කොටස (බහුවචන) /31

4. දුතියාවිභත්තික පද /32

5. තතියාවිභත්‍යන්ත පද /34

6. චතුත්‍ථිවිභත්‍යන්ත  පද /36

7. පංචමී විභත්‍යන්ත පද /38

8. ඡට්ඨි විභත්‍යන්ත පද /40

9. සත්තමී විභත්‍යන්ත පද /42

10. ආලපන විභත්‍යන්ත පද /44

11. නාමවරනැගීම, වත්තමානා විභත්ති /46

12. අම්හ තුම්හ ශබ්ද, භවිස්සන්ති /51

13. පූර්‍වක්‍රියා හා තුමන්ත /54

14. නපුංසක අකාරන්ත, පංචමී විභත්ති /58

15. ඉත්‍ථිලිඞ්ගික ආකාරන්ත /63

16. විශේෂණ විශේෂ්‍ය, අස්ධාතුව /67

17. පුංලිඞ්ගික ඉකාරන්ත උකාරන්ත /71

18. නපුංසක ඉකාරන්ත උකාරන්ත අජ්ජතනී /76

19. පුංලිඞ්ගික ඊකාරන්ත ඌකාරන්ත /83

20. ඉත්‍ථිලිඞ්ගික ඉ - ඊ - උ - ඌ කාරන්ත, සත්තමී /89

21. තුප්‍ර‍ත්‍යයාන්ත (පිතුමාතු) /93

22. සබ්බනාම (සර්‍වනාම) /98

23. සන්‍ධි, සබ්බනාම /101

24. සබ්බනාම /106

25. උක්තාර්‍ථපූරණය හා ප්‍ර‍මාණ ප්‍රමේය /111

26. වත්තමානකාලික කිතකන්ත /115

27. ධාතුගණ 121

28. වන්තු - මන්තු - පච්චයන්ත /125

29. අතීතකාලික ආඛ්‍යාතික ක්‍රියා (හීයත්තනී) /131

30. අත්ත, බ්‍ර‍හ්ම, රාජ, සඛ ශබ්ද /133

31. මනොගණික ශබ්ද /139

32. සංඛ්‍යාවාචී ශබ්ද /144

33. සංඛ්‍යාපූරණ ශබ්ද /153

34. විශේෂණ තුන්වගය /158

35. ආඛ්‍යාතික ක්‍රියා - උභය පද /162

36. කම්මවාචක ආඛ්‍යාතික ක්‍රියා /165

37. කිතකන්ත (අ) /175

38. කිතකන්ත (ආ) /179

39. කිතකන්ත (ඉ) /189

40. කිතකන්ත (ඊ) /199

41. සමාස /206

42. ආඛ්‍යාත - කාලාතිපත්ති /211

43. ප්‍රයෝජ්‍යක්‍රියා /218

44. තද්ධිතන්ත (අ) /222

45. තද්ධිතන්ත (ආ) /225

46. තද්ධිතන්ත (ඉ) /226

47. කිතකන්ත /227

48. කාරකය /228

උපග්‍ර‍න්‍ථය

1.     නාමවරනැගිල්ල /232

2.    ආඛ්‍යාත වරනැගිල්ල /244


 

 

 

 

සරල පාලි ශික්‍ෂකය


 

ප්‍රාරම්භ පාඨ 1                                               පද

 

1. ක්‍රියාපද

        ඉඳී, නිදයි, කයි. මේ වචනවලින් කිමෙක් හැඟෙයි ද? “ඉඳී” යන්නෙන් ඉඳීම නැමැති ක්‍රියාව කරන බව හැඟෙයි. නිදයි යන්නෙන් නිදාගැන්ම කරන බව ද, කයි යන්නෙන් කෑම කරන බව ද හැඟෙයි. මෙසේ ක්‍රියාවක් (කිරීමක්) හඟවන පද ක්‍රියාපද නම් වේ.

 

2. නාමපද

මිනිහා, ගොනා, බල්ලා, ගස. මේ පදවලිනුත් කිරීමෙක් හැඟේ ද? නැත. මේවා ඒ ඒ අයට බැවහර කරන නම් ය. මිනිහා යනු නමෙක් ය. ගොනා යනු ද නමෙක් ය. බල්ලා, ගස යනු ද නම් ය. මෙසේ කෙනකුට හෝ දැයකට බැවහර කරන නම නාමපද නමි.

 

3. කර්‍තෘ

        මිනිහා ඉඳී, ළමයා නිදයි, බල්ලා කයි. මේ වාක්‍ය තුනෙකි. “මිනිහා ඉඳී” යි කී තැන ඉඳී යනු ක්‍රියාවෙකි. මිනිහා යනු ඒ ඉඳීම කරන්නා යි. ඉඳී යන ක්‍රියාවේ කර්‍තෘ ය. “ළමයා නිදයි” යන තැන නිදයි යනු ක්‍රියාව යි. ළමයා යනු එහි කර්‍තෘ යි. බල්ලා කයි. කන්නේ කවරෙක් ද? බල්ලා ය. බල්ලා යනු කයි යන ක්‍රියාවේ කර්‍තෘ යි. ක්‍රියාවක් කරන්නා කර්‍තෘ නම් වේ යැ යි සිතට ගත යුතු. කර්‍තෘහු හඟවන පද කර්‍තෘවාචක පද නමි. උඩ දුන් වාක්‍ය තුනේ ම මිනිහා, ළමයා, බල්ලා යනු කර්‍තෘවාචක පද හ.

 

ඇබෑසිය

මේ වාක්‍යවල කර්‍තෘවාචක පදත් ක්‍රියාපදත් වෙන වෙන ම දක්වන්න :

1.     ළමයා යයි                4. මිනිහා දකී

2.    ගොනා දුවයි              5. ගොවියා සායි

3.     බල්ලා බුරයි               6. ශිෂ්‍යයා ලියයි

 

 


ප්‍රාරම්භ පාඨ 2                                            කර්‍මය

 

4. “මිනිහා ගස කපයි.”

        මේ වාක්‍යයේ කපයි යනු ක්‍රියාව යි. මිනිහා යනු එහි කර්‍තෘ යි. ගස යනු කිමෙක් ද? ඔහු කපන දැය යි. ඔහු ගේ කැපීමට හසු වුන දැය යි. කෙනකු කරන ක්‍රියාවට හසු වන, යටත් වන දැය කර්‍ම නමි. “ගස කපයි” කී තැන, ගස යනු කර්‍මය වෙයි. කර්‍මය අඟවන පද කර්‍මවාචක පද නම් වේ.

 

        දරුවා කිරි බොයි.

        ළමයා අකුරු ලියයි.

        බළලා මීයා මරයි.

        බමරා රොන් ගනියි.

        බල්ලා හාවා ලුහුබඳී.

 

        මේ වාක්‍යවල පෙනෙන බොයි, ලියයි, මරයි, ගනී, ලුහුබඳී යනු ක්‍රියා පද යි. දරුවා, ළමයා, බළලා, බඹරා, බල්ලා යනු පිළිවෙළින් ඒ ක්‍රියාවල කර්‍තෘහු යි. කිරි, අකුරු, මීයා, රොන්, හාවා යනු පිළිවෙළින් ඒ ක්‍රියාවල කර්‍මයෝ යි. ඔහු ඒ වාක්‍යයන්හි කර්‍මවාචක පදයෝ ය.

 

ඇබෑසිය

 

        පහත සඳහන් වන වාක්‍යවල කර්‍තෘවාචක පද ද කර්‍මවාචක පද ද ක්‍රියාවාචක පද ද වෙන් කොට දක්වන්න.

 

1.     බුදුරජ දහම් දෙසයි         6. ළමයා මුහුණ සෝදයි

2.    මව දරුවා නලවයි         7. ගවයා තණ කයි

3.     පියා පුතු සොයයි          8. උපාසකයා බුදුරජුහු වඳී

4.    සිංහයා මුවා මරයි         9. ගොවියා කුඹුර වපුරයි

5.     රජ සිරකරු මුදයි          10. කොළුවා ගොනාට තළයි

 

 


 

ප්‍රාරම්භ පාඨ 3                                          කරණය

 

5. “හේ ඇසින් බලයි.”

        හේ කිමෙකින් බලයි ද? හේ ඇසින් බලයි. ඔහු බලනුයේ ඇසිනි (ඇසේ උපකාරයෙනි).

 

හේ කනින් අසයි.

        හේ කිමෙකින් (කිමෙක උපකාරයෙන්) අසා ද? කනින් (කනේ උපකාරයෙන්) අසයි.

 

හේ පොරොවෙන් ගස කපයි

        හේ කිමෙකින් (කිමෙක උපකාරයෙන්, කුමක් උපකරණය කොට ගෙන) ගස කපා ද? පොරොවෙන් (පොරොවේ උපකාරයෙන්, පොරොව උපකරණ කොට ගෙන) ගස කපයි.

 

ළමයා දම්වැලින් බල්ලා බඳී.

        ළමයා කිමෙකින් බල්ලා බඳී ද? දම්වැලින් බල්ලා බඳී.

 

        මේ හැම තැන ම “කිමෙකින් ද” යන ප්‍ර‍ශ්නයට උත්තර වශයෙන් ඇසින්, කනින්, පොරොවෙන්, දම්වැලින් යන වචන ලැබී ඇත. ක්‍රියාවක් කිරීමට උපකරණ වන දැය කරණ නමි. කරණය හඟවන පදය කරණවාචක පද නමි. උඩ සඳහන් “ඇසින්, කනින්, පොරොවෙන්, දම්වැලින්” යනු කරණවාචක පදයෝ ය.

 

ඇබෑසිය

කර්‍තෘවාචක, කර්‍මවාචක, කරණවාචක පද පෙන්වන්න :

1.     ගොවියා දෑකැත්තෙන් ගොයම් කපයි.

2.    මිනිහා පොල්ලෙන් හොරාට ගසයි.

3.     වඳුරා දත්වලින් ගෙඩිය සපයි.

4.    දිවියා නියෙන් ගොනා ඉරාලයි.

5.     වැද්දා ඊයෙන් මුවා විදී.

6.    පොළොව වැස්සෙන් තෙමෙයි.

7.    ශිෂ්‍යයා පෑනෙන් අකුරු ලියයි.

8.     අරක්කැමියා ගින්නෙන් බත පිසයි.

9.    ළමයා පැනින් පිපාසාව නිවාලයි.

10.   මම දිවෙන් රස විඳිමි.

11.   කොළුවා කෙක්කෙන් ගෙඩිය කඩයි.

ප්‍රාරම්භ පාඨ 4                                       සම්ප්‍ර‍දානය

 

6. “මව දරුවාට කිරි දෙයි”

        මවු කිරි දෙනුයේ කාට ද? දරුවාට ය. දෙයි යන්නෙන් දැක්වෙන ක්‍රියාවේ කර්‍තෘ මව ය. කිරි යනු කර්‍මය ය. දරුවාට යනු කිමෙක් ද? ඒ දෙන දැය ලබන්නා හඟවන පදය ය. මෙය සම්ප්‍ර‍දාන නමි. ඒ සම්ප්‍ර‍දානය හඟවන පදය සම්ප්‍ර‍දාන වාචක පද නමි.

 

අරක්කැමියා අමුත්තාට බත් පිසයි.

        මෙ තැන අරක්කැමියා බත පිසනුයේ කාට ද? කවරකු සඳහා ද? කවරකු පිණිස ද? අමුත්තාට ය. අමුත්තා සඳහා ය. අමුත්තා පිණිස ය. මෙහි අමුත්තාට යනු ද සම්ප්‍ර‍දාන වාචක පද යි.

 

        දෙනුයේ කාටද? ක්‍රියාව කරනුයේ කාටද? (කවුරු පිණිස ද? කවුරු සඳහා ද?) යන ප්‍ර‍ශ්නවලට උත්තරය සම්ප්‍ර‍දානවාචක පදයෙන් ලැබේ.

 

ඇබෑසිය

        පහත දැක්වෙන වාක්‍යවල කර්‍තෘවාචක කර්‍මවාචක කරණවාචක සම්ප්‍ර‍දානවාචක පද වෙන් කොට ලියන්න.

 

1.     මෙහෙකරුවා සිඟන්නාට බත් දෙයි.

2.    රජ සෙනෙවියාට තෑගි දෙයි.

3.     ගුරුවරයා ශිෂ්‍යයාට පොතක් දෙයි.

4.    කොළුවා ගොනාට අතින් ගසයි.

5.     දිවියා ගොදුරු පිණිස ඇවිදී.

6.    ගොවියා වැඩට යයි.

7.    වඩුවා ගෙයක් තනයි.

8.     හෙ තෙම ගිරවාට කූඩුවක් සාදයි.

9.    මෙහෙකරුවා කැත්තෙන් කැලෑව කපයි.

10.   ගුරුවරයා ළමයාට වේවැලින් තළයි.

11.   මිනිසා ගොනාට තණකොළ දෙයි.

 

 

 

ප්‍රාරම්භ පාඨ 5                            අපාදානය (අවධිය)

 

7. “හේ ගමෙන් නික්මෙයි”

        ඔහු නික්මෙන්නේ කිමෙකින් ද? (කුමක් කෙරෙන් ද?) “ගමෙන් ය. ගම කෙරෙන් ය”

 

ගසෙන් ගෙඩිය වැටේ.

        ගෙඩිය වැටෙන්නේ කිමෙකින් (කුමක් කෙරෙන්) ද? ගසෙන් ය, ගස කෙරෙන් ය.

 

        යමෙකින් ඉවත් වෙය නම්, වෙන් වෙයි නම් එය අපාදානය (අවධිය) නමි. එය අඟවන පදය අපාදානවාචක පද නමි. ඉහත දුන් වාක්‍යවල ගමෙන්, ගසෙන් යනු අපාදානවාචක පද යි.

 

 

ඇබෑසිය

        පහත දැක්වෙන වාක්‍යවල පෙනෙන කර්‍තෘවාචක කර්‍මවාචක කරණවාචක සම්ප්‍ර‍දානවාචක අපාදානවාචක පද වෙන් කොට ලියන්න.

 

1.     කුරුල්ලා කැදැල්ලෙන් ඉගිල්ලෙයි.

2.    හොරා ගමෙන් පලායයි.

3.     ගොනා ගාලෙන් නික්මෙයි.

4.    පෑන අතෙන් වැටෙයි.

5.     කන්දෙන් ගල පෙරැළෙයි.

6.    මිනිහා කඩයෙන් බඩු මිළයට ගනී.

7.    ළමයා අතින් පහන ගෙනෙයි.

8.     ගුරුහු ශිෂ්‍යයනයට ආහාර දෙති.

9.    ගින්නෙන් කැලෑව දැවෙයි.

10.   මිනිහා රියෙන් නුවරට යයි.


ප්‍රාරම්භ පාඨ 6                                      සම්බන්ධය

 

8. ළමයා ගේ පොත.

        කාගේ (කා අයත්) පොත ද? ළමයා ගේ (ළමයා අයත්) පොත ය.

 

ගහේ අත්ත

        කිමෙක (කුමක ගේ) අත්ත ද? ගහේ (ගහ අයත්) අත්ත ය.

 

        යමකට අයත් බව, යමකට බැඳී ඇති බව සම්බන්‍ධය නම් වේ. ළමයා ගේ යනු ද ගහේ යනු ද සම්බන්‍ධය අඟවන පද යි. ඒ සම්බන්‍ධවාචක පද නමි.

 

ඇබෑසිය

පහත දැක්වෙන වාක්‍යවල ඇති කර්‍තෘ කර්‍ම කරණ සම්ප්‍ර‍දාන අපාදාන සම්බන්‍ධ යන මොවුන් හඟවන පද වෙන් කොට ලියන්න.

 

1.     ගොවියා ගේ පුතා දෑකැත්තෙන් ගොයම් කපයි.

2.    සතුරා ගේ සේනාව යුදයට එයි.

3.     මිනිසා සතුරාට තමා ගේ කඩුවෙන් ගසයි.

4.    සොරා මඟියා ගේ බඩු පැහැරගනී.

5.     ගසේ අත්තෙන් වඳුරා වැටෙයි.

6.    රජුගේ කුමරුවෝ ප්‍රාසාදයෙන් බසිත්.

7.    ඇමැතියා සෙනෙවියා ගේ රියෙන් නුවරින් නික්මෙයි.

 


ප්‍රාරම්භ පාඨ 7                                         ආධාරය

 

9.      “කුරුල්ලා ගසෙහි ලගී.

        කුරුල්ලා ලගින්නේ කොහි ද? ගසෙහි ය.

        “මිනිසා කුඹුරේ වැඩ කරයි.”

        මිනිසා වැඩ කරනුයේ කොහි ද? කුඹුරේ ය.   

        “සැන්දෑවේ කුරුල්ලෝ ලැග්මට යෙත්.”

 

        මේ උඩ සඳහන් වාක්‍ය අනුව කොහි ද? කොතන්හි ද? කොයි වේලේ ද? (කොයි කාලයේ ද?) යන ප්‍ර‍ශ්නවලට උත්තර ගසෙහි, කුඹුරේ (කුඹුරෙහි), සැන්දෑවේ යන වචනවලින් ලැබේ.

        යමක් කිරීමට ආධාර වන තැන ආධාරය යි. ඒ ආධාරය අඟවන පද ආධාරවාචක පද නමි.

        යමක් කරන කාලය හෝ වේලාව අඟවන පද ද ආධාරවාචක පද කොටසට ම ඇතුළත් ය.

        අතීත කාලයෙහි මහෞෂධ නම් පඬිවරයෙක් විය

අනාගතයෙහි මෛත්‍රෙය නම් බුදු රජෙක් පහළ වන්නේ ය.

අද හැන්දෑවේ අපි මෙහෙන් පිටත් වන්නමු.

 

මේ වාක්‍ය තුනෙහි ම අතීතකාලයෙහි, අනාගතයෙහි, හැන්දෑවේ යනු ආධාරවාචක පදයෝ යි.

ඇබෑසිය

පහත දැක්වෙන වාක්‍යවල ඇති පද මොන මොන කොටසට අයත් වාචක පද දැ? යි දක්වන්න.

1.     ළමයා පුටුවේ ඉඳී.

2.    ගමේ වෙහෙරෙහි උළෙලෙක් වෙයි.

3.     ළමෝ පිට්ටනියේ සෙල්ලම් කරති.

4.    අරක්කැමියා රසවතියෙහි බත් පිසයි.

5.     අද මෙහි අමුත්තනට සංග්‍ර‍හයෙක් වෙයි.

6.    යුදෙහි රාම තෙම රාවණයා නැසී ය.

7.    සිවලා කටින් කුකුළා ඩැහැගනී.

8.     මිනිහා නෑමට ගඟට බසී.

9.    මෙහෙකරුවා සොරා ගේ හිසට පොල්ලෙන් ගසයි.

10.   ළමයා ගේ පසුම්බියෙන් මුදල් වැටෙයි.

11.   වළවේ ගඟ සමනොළ කන්දෙන් ගලාබසී.

12.  මූදේ නැවෙක් යෙයි.

ප්‍රාරම්භ පාඨ 8                      ආලපනය (ආමන්ත්‍ර‍ණය)

 

10.     “පුත, මෙහි එන්න.

        පියේ, මම් ගමට යෙමි.

        දරුවනි, මේ ගොනා ලිහා දමවු.”

 

        මේ වාක්‍ය තුනේම “පුත, පියේ, දරුවනි” යන පද යොදා ඇත්තේ, කෙනකුට ඇමැතීම් අඬගැසීම් වශයෙනි. මෙසේ කෙනකු අමතා කතා කිරීම පිණිස යෙදෙන පද ආලපනාර්‍ථවාචක හෙවත් ආමන්ත්‍ර‍ණාර්‍ථවාචක පද නමි.

 

        ආලපනය, ආමන්ත්‍ර‍ණය යනු කතා කොට කැඳවීම යි, අඬගැහීම යි.

 

ඇබෑසිය

 

        පහත සඳහන් වාක්‍යවලැ වාචක පද කොයි කොටසට අයත් දැ? යි වෙන වෙන ම දක්වන්න.

 

1.     මෙහෙකරුව, දරකොටය පොරොවෙන් පළව.

2.    අරක්කැමියනි, සිසුවනට දැන් බත් පිසවු.

3.     දරුව, වැසි වසී. වී ගෙට ගනුව.

4.    කොළුව, එළදෙන ගාලට ගෙන යව.

5.     දුවේ, කළයෙන් දිය ගෙනෙව.

6.    ශිෂ්‍යයිනි, බලවු. මේසයෙහි දූවිලි ඇත. සියල්ල පිසදමවු.

7.    දරුව, හුණුකැටයෙන් කලු ලෑල්ලෙහි අකුරු ලියව.

8.     යහලුව, බලන්න, ගස සුළඟින් සැලෙයි.

9.    දරුවනි, ගසෙන් ගෙඩි වැටෙයි, සියල්ල අවුලවු.

10.   මෑණියනි, ගමට යෑමට මට අවසර දෙන්න.

 


ප්‍රාරම්භ පාඨ 9                               සංඛ්‍යා (නාමපද)

 

11. එක් කෙනකු අඟවන වචන ඒකවචන යි. දෙදෙනකු හෝ තුන් දෙනකු හෝ වැඩි දෙනකු අඟවන (බොහෝ දෙනකු අඟවන) වචන බහුවචන යි.

        මිනිසා යනු ඒකවචන යි. මිනිස්සු යනු බහු වචන යි. ගමෙහි යනු ඒකවචන යි. ගම්හි යනු බහුවචන යි.

වාචකපද වරනැගීම

‍        මේ තාක් ඉගෙන ගත් වාචක පද අට වගය ඒකවචන බහුවචන දෙක්හි සිටින සැටි දැක්වේ.

මිනිස් ශබ්දය

                        ඒකවචන                බහුවචන

කර්‍තෘවාචක             මිනිසා                   මිනිස්සු

කර්‍මවාචක              මිනිසා, මිනිසාට         මිනිසුන්, මිනිසුනට

කරණවාචක           මිනිසා කරණකොට      මිනිසුන් කරණකොට

සම්ප්‍ර‍දානවාචක         මිනිසාට, මිනිසා පිණිස  මිනිසුනට,මිනිසුන් පිණිස

අපාදානවාචක          මිනිසා ගෙන්,            මිනිසුන් ගෙන්,

                        මිනිසා කෙරෙන්         මිනිසුන් කෙරෙන්

සම්බන්‍ධවාචක         මිනිසා ගේ               මිනිසුන් ගේ

ආධාරවාචක           මිනිසා කෙරෙහි          මිනිසුන් කෙරෙහි

ආලපන                මිනිස                    මිනිසුනි

අත් ශබ්දය

                        ඒකවචන                බහුවචන

කර්‍තෘවාචක             අත                      අත්

කර්‍මවාචක              අත                      අත්

කරණවාචක           අතින්                    අත්වලින්

සම්ප්‍ර‍දානවාචක         අතට                     අත්වලට

අපාදානවාචක          අතෙන්, අත කෙරෙන්   අත්වලින්, අත් කෙරෙන්

සම්බන්‍ධවාචක         අතේ                     අත්වල

ආධාරවාචක           අතේ, අතෙහි            අත්හි, අත්වල

ආලපන                අත                      අත්හි

වරනැගීම : කර්‍තෘ කර්‍ම කරණාදි පිළිවෙළින් නාමයෙක වාචක පද ලිවීම හෝ කීම නාම වරනැගීම නමි. ඉහත මිනිස් ශබ්දයේත් අත් ශබ්දයේත් වරනැගිලි සඳහන් කරන ලදී.

ඇබෑසිය

බලු, බළල්, ගස්, ගොන්, මුගටි යන ශබ්ද වරනගන්න.

ප්‍රාරම්භ පාඨ 10                             සංඛ්‍යා (ක්‍රියා පද)       

“මිනිසා වැඩ කරයි

        මිනිස්සු වැඩ කරත් (කරති).”

 

“මිනිහා වැඩ කරයි” කී තැන වැඩ කරනුයේ එක් මිනිසෙකැ යි “කරයි” යන්නෙන් හැඟැවේ. “කරත්” යන්නෙන් බොහෝ දෙනකු වැඩ කරන බව හැඟැවේ. කරයි යනු ඒකවචන ක්‍රියා පදය යි. කරත් යනු බහුවචන ක්‍රියා පදයි.

 

ක්‍රියාව ඒක වචන වී නම්, එයින් හැඟෙන කර්‍තෘ ද ඒක වචනයෙන් සිටී. ක්‍රියාව බහුවචන වී නම්, එයින් හැඟෙන කර්‍තෘ ද බහුවචනයෙන් සිටී.

 

ඒ මෙසේ ය:

        ළමයි දුවයි.            ළමෝ දුවත්.

        බල්ලා බුරයි.           බල්ලෝ බුරත්.

        ඌරා හාරයි.           ඌරෝ හාරත්.

        මීයා කපයි.            මීයෝ කපත්.

 

ඇබෑසිය

 

වැරැදි හරිගස්සා ලියන්න.

1.     ළමෝ ගෙඩි කඩයි.

2.    බළල්ලු මීයන් අල්ලයි.

3.     ගොවියා සී සාති.

4.    ගිරවා පියාඹති.

5.     බල්ලා පිදුරුගොඩේ ලගිති.

6.    ගොන්නු තණ කයි.

7.    ගස්හු සුළඟින් වැටෙයි.

8.     වඩුවා ගෙයක් තනත්.

9.    වඩුවෝ ගෙයක් සාදයි.

10.   ගසෙන් ගෙඩිය වැටෙති.


ප්‍රාරම්භ පාඨ 11                                    පුරුෂ තුන

 

12. කථා ව්‍යවහාරයෙහිදී ලොවැ සියලු දෙනා තුන් කොටසකට බෙදෙති.

 

        හේ, ඔහු යි අන් කෙනකු හැඳින්වෙන පක්‍ෂය.

        තෝ, තෙපි යි කියනු ලබන (ඉදිරි පිට සිටින) පක්‍ෂය.

        මම, අපි යැ යි කියාගන්නා පක්‍ෂය.

 

        මෙයින් “හේ ඔහු” යි හැඳින්වෙන පක්‍ෂය (පිට අය) ප්‍ර‍ථම පුරුෂ නමි. “තෝ තෙපි” යි කියනු ලබන පක්‍ෂය (ඉදිරිපිට ඉන්නා) මධ්‍යම පුරුෂ නමි. “මම් අපි” යි කියන (තමන් හඟවන) පක්‍ෂය උත්තම පුරුෂ නමි.

 

        වාක්‍යයෙක ක්‍රියාපද ද මේ කොටස් තුන අනුව වෙනස් වේ. ඒ මෙසේ ය:

 

                        ඒකවචන            බහුවචන

ප්‍ර‍ථම පුරුෂ            හේ දුවයි             ඔහු දුවත්

මධ්‍යම පුරුෂ          තෝ දුවහි            තෙපි දුවහු

උත්තම පුරුෂ          මම් දුවමි             අපි දුවමු                

 

ඇබෑසිය

අඩු තැන් පුරවන්න

1.     ----- අඬමි.                    6. තෝ -----.

2.    ----- වැටෙයි.                  7. ----- නිදමි.

3.     මම ----.                       8. ඔහු ----.

4.    ---- කපහි.                     9. අපි ----.

5.     තෙපි ----.                     10. ---- යමි.

 

(අ) වැරැදි තැන් හරිගස්සා ලියන්න.

    1.  මම් ලියමු.                      6. හේ දුවහි.

2. තෙපි හඬති.                     7. තෙපි තළයි.

    3. ඔහු කියයි.                       8. අපි නාති.

4. අපි වසමි.                       9. ඔහු බොයි.

    5. තෝ ලියමි.                           


ප්‍රාරම්භ පාඨ 12                                      කාල තුන

 

13. හෙ තෙමේ යයි. ඔහු යත්.

        මේ වාක්‍ය දෙකින් කියැවෙන්නේ පෙර සිදු වූ ගමනෙක් ද? දැන් සිදු වන ගමනෙක් ද? නැතහොත් මත්තට සිදුවන ගමනෙක් ද?

 

        දැන් සිදුවන ගමනෙකි. මෙසේ දැන් කැරෙන ක්‍රියාව වර්‍තමානකාලික ක්‍රියා නමි. වර්‍තමාන කාල යනු දැන් පවත්නා කාලය යි.

 

හේ ගියේ ය. ඔහු ගියහ.

 

        මෙහි ගියේ ය, ගියහ යනු ගමන කැරැ නිම කළ බව අඟවන ක්‍රියාවෝ ය. නිම කළ ක්‍රියාව, අවසන් කළ ක්‍රියාව අතීතකාලික ක්‍රියා නම් වේ.

 

        හේ යන්නේ ය (මතු යයි). ඔහු යන්නාහ (මතු යත්).

 

        යන්නේය, යන්නාහ යනු මත්තට කරන, තව ම පටන් නොගත් ක්‍රියාවක් අඟවන පදයෝ ය. මොහු අනාගත කාලික ක්‍රියා යි. අනාගත යනු තව ම නො ආ, මත්තට එන්නට ඇති කාලය යි.

 

        මෙසේ පුරුෂ තුනට ම අයත් ක්‍රියාවෝ කාල තුනෙහි ද ඒකවචන බහුවචන දෙක්හි ද වර නැගෙති.

 

මෙසේ යි :

 

වර්‍තමානකාලික ක්‍රියා

 

                        ඒකවචන              බහුවචන

ප්‍ර‍ථම පුරුෂ            හේ දුවයි.              ඔහු දුවත්

මධ්‍යම පුරුෂ          තෝ දුවහි              තෙපි දුවහු

උත්තම පුරුෂ          මම් දුවමි               අපි දුවමු.

 


අතීතකාලික ක්‍රියා

 

                        ඒකවචන              බහුවචන

ප්‍ර‍ථම පුරුෂ            හේ දිව්වේය            ඔහු දිව්වාහ

මධ්‍යම පුරුෂ          තෝ දිව්වෙහි           තෙපි දිව්වහු

උත්තම පුරුෂ          මම් දිව්වෙමි           අපි දිව්වමු

 

                        අනාගත කාලික ක්‍රියා

 

                        ඒකවචන              බහුවචන

ප්‍ර‍ථම පුරුෂ            හේ දුවන්නේ ය        ඔහු දුවන්නාහ

මධ්‍යම පුරුෂ          තෝ දුවන්නෙහි        තෙපි දුවන්නහු

උත්තම පුරුෂ          මම් දුවන්නෙමි         අපි දුවන්නෙමු

 

ඇබෑසිය

 

අඩුතැන් පුරවා ලියන්න.

 

1. මම් ඊයේ ------.                    8. තෝ සෙට ------.

2. තෙපි හෙට ------.                  9. හේ පළමු දා ------.

3. දැන් ------.                          10. ------ ------ ලියන්නෙහි.

4. අපි අනිද්දා ------.                   11. ------ ------ කියහි.

5. ඔහු ------.                          12. ------ ------ ආයෙමි.

6. තෝ ඊයේ ------.                   13. ------ ------ කැපූහ.

7. මම් අනිද්දා ------.                   14. ------ ------ සාදන්නහු.

                        15. ------ ------ නෑවමු.

 

 

                       

 


ප්‍රාරම්භ පාඨ 13                               උක්ත අනුක්ත

 

ඒකවචන              බහුවචන

ප්‍ර‍ථම පුරුෂ            හේ දුවයි               ඔහු දුවත්

                        (ළමයා දුවයි)           (ළමෝ දුවත්)

මධ්‍යම පුරුෂ          තෝ දුවහි              තෙපි දුවහු

උත්තම පුරුෂ          මම් දුවමි               අපි දුවමු.

 

14. “දුවයි” කී කල කවරෙක් දුවා යැ යි හැඟේ ද? මා දුවන බව හැඟේ ද? නැත. තොප දුවන බව හැඟේ ද? නැත. මම, අපි යන කොටසට ද තෝ තෙපි යන කොටසට ද යන දෙකොටසට ම අයත් නො වූ, ඒ දෙකොටසින් ම පිටත්, එක් කෙනකු (ප්‍ර‍ථම පුරුෂයට අයත් එක් කෙනකු) දුවන බව හැඟේ. “හේ දුවයි, ළමයෙක් දුවයි, මිනිසෙක් දුවයි” යන ආදි වශයෙන් හැඟවිය යුතු “අන් එකෙක් දුවයි” කියා ම හැඟේ. දුවත් යි කී කල, “ඔහු දුවත්, ළමෝ දුවත්, මිනිස්සු දුවත්” යන ආදීන් කිය යුතු පරිදි අන් බොහෝ දෙනකු දුවනු හැඟේ.

 

        “දුවහි” කී කල “තෝ දුවහි” කියා ම හැඟේ. දුවහු යි කී කල එහි කර්‍තෘ තෙපි යී කියා ම හැඟේ. “දුවහු” යන්න “මම, අපි, තෝ, හේ, ඔහු” යන කර්‍තෘ පද සමග නො යෙදෙන බැවිනි.

 

        දුවමි යි කී කල මම් යනු එහි කර්‍තෘ බව හැඟේ. “මම් දුවමි” යන්න ම ශිෂ්ට ව්‍යවහාරය බැවිනි. දුවමු යි කී කල අපි යනු ම එහි කර්‍තෘ බව හැඟේ.

 

        මෙසේ ක්‍රියායෙන් එහි කර්‍තෘ මොන පුරුෂයට අයත් ද? එක් කෙනෙක් ද? බොහෝ දෙනෙක් ද? යි නිශ්චිත වේ නම් එය ක්‍රියායෙන් කර්‍තෘ උක්ත වීම නමි.

 

        හේ දුවයි යන තැන “හේ” යන්න නො තුබුණත් දුවන්නා “හේ” ම යැ යි හැඟේ. දුවයි යන්නෙන් හේ යනු උක්ත කර්‍තෘ යි. දුවත් යන්නෙන් ඔහු යනු උක්ත කර්‍තෘ යි. දුවහි යන්නෙන් තෝ යනු උක්ත කර්‍තෘ යි. දුවහු යන්නෙන් තෙපි යනු උක්ත කර්‍තෘ යි. දුවමි යන ක්‍රියායෙන් මම් යනු උක්ත කර්‍තෘ යි. දුවමු යන ක්‍රියායෙන් අපි යනු උක්ත කර්‍තෘ යි.

හෙ තෙම ගොනා බඳී.

හෙ තෙම ගොනුන් බඳී.

හෙ තෙම තා බඳී.

හෙ තෙම තොප බඳී.

හෙ තෙම මා බඳී.

හෙ තෙම අප බඳී.

 

        මේ වාක්‍යවල බඳී යන ප්‍ර‍ථම පුරුෂ ඒකවචනයට අයත් ක්‍රියාපදයෙන් එහි කර්‍තෘ ද ප්‍ර‍ථම පුරුෂ ඒක වචන වූ හේ යැ යි නම් කළ හැක්කෙකැ යි හැඟේ හෙවත් උක්ත වේ. එහෙත් ඔහු බඳිනුයේ අසුවල් පුරුෂයට අයත් තැනැත්තකු යැ යි හැඟේ ද? ඒ ක්‍රියායෙන් එවැන්නක් නො හැඟේ. හැම පුරුෂයකට ම අයත් ඒක වචන වූ හෝ බහුවචන වූ හෝ කවර ම කර්‍ම පදයක් එහි යෙදිය හැකි බැවිනි. එ බැවින් කර්‍තෘහු ක්‍රියායෙන් උක්ත වන වාක්‍යයෙක කර්‍මය උක්ත නො වේ, අනුක්ත වේ. එසේ වූ කර්‍මය අනුක්ත කර්‍ම නමි. උඩ සඳහන් වාක්‍යවල ගොනා, ගොනුන්, තා, තොප, මා, අප යනු අනුක්ත කර්‍මවාචක යි. (කර්‍මය පමණක් නො ව අනිත් කරණ සම්ප්‍ර‍දානාදි වාචකපද ද ක්‍රියායෙන් අනුක්ත ය.)

 

ඇබෑසිය

උක්ත අනුක්ත පද දක්වන්න.

 

1.     මිනිස්සු ගස කපත්.            7. උපාසකයෝ සිල් ගත්හ.

2.    අපි නැව් දැක්කමු.              8. මම් මුහුණ සෝදමි.

3.     බළලා මීයන් මරයි.            9. ඔහු මා පෙලූහ.

4.    බල්ලෝ සාවුන් අල්ලති.        10. අපි ඔවුන් දුටුමු.

5.     මඟියා බර ගෙනයයි.           11. ඔහු අපට ගැසූහු.

6.    හොරු ගෙය බින්දාහ.           12. හේ අප පැසැසී ය.

 


ප්‍රාරම්භ පාඨ 14                                    ලිංගභේදය

 

15. බළලා, බැළැලී, මල.

        බළලා යී කී විට පිරිමි සතෙකැ යි හැඟෙයි. බැළැලී යී කී විට ගැහැනු සතෙකැ යි හැඟෙයි. මල යැ යි කී විට පිරිමින් නො වූ ගැහැනුන් නො වූ දැයෙකැ යි හැඟේ. පිරිමි සතුන් හඳුන්වන ශබ්ද පුරුෂ ලිංගික (පුංලිංගික) නාමයෝ ය. ගැහැනු සතුන් හඳුන්වන ශබ්ද ස්ත්‍රීලිංගික නාමයෝ ය. පිරිමි ගැහැනු දෙකොටසට ම අයත් නො වූ දෑ හඳුන්වන ශබ්ද නපුංසක ලිංගික නාමයෝ ය.

 

        පුරුෂයා, බල්ලා, ගොනා, වලහා, රජා, බමුණා යනු පුංලිංගික නාම පද යි. ස්ත්‍රී, බැල්ල, දෙන, වැලැහින්න, රැජින, බැමිණි යනු ස්ත්‍රීලිංගික නාම පද යි. ගස, ගල, සුළඟ, ගින්න යන ආදීහු නපුංසකලිංගික නාම පද යි. මෙසේ සිංහලයෙහි නාමයෝ ලිඞ්ග තුනකට අයත් වෙත්.

 

        සමහර පඬිවරු පාලි සංස්කෘත භාෂාවල එන පුංලිංගික නපුංසක ලිංගික ශබ්දවලින් සිංහල ව්‍යවහාරයට ආ ශබ්ද සියල්ල පුංලිංගික ශබ්ද හැටියට ද ඒ භාෂාවල ස්ත්‍රීලිංගික ශබ්දවලින් සිංහලයට ආ ශබ්ද ස්ත්‍රීලිංගිකයන් හැටියට ද සලකත්.

 

        ලිංග තුනට අයත් ශබ්දයන් ගේ වරනැගීම සැකෙවින් දැක්වේ.

 

පුංලිංගික

ගොන්

                        ඒකවචන              බහුවචන

(උක්ත) කර්‍තෘවාචක    ගොනා                 ගොන්, ගොන්නු

(අනුක්ත) කර්‍මවාචක   ගොනා                 ගොන්, ගොනුන්

කරණවාචක           ගොනා කරණකොට   ගොනුන් කරණකොට

සම්ප්‍ර‍දානවාචක         ගොනාට               ගොනුනට

අපාදානවාචක          ගොනා ගෙන්          ගොනුන් ගෙන්

සම්බන්‍ධවාචක         ගොනා ගේ            ගොනුන් ගේ

ආධාරවාචක           ගොනා කෙරෙහි       ගොනුන් කෙරෙහි

ආලපන                ගොනෝ               ගොනුනි


ස්ත්‍රීලිංගික

දෙන්

                        ඒකවචන              බහුවචන

(උක්ත) කර්‍තෘවාචක    දෙන                   දෙන්නු

(අනුක්ත) කර්‍මවාචක   දෙන                   දෙනුන්

කරණවාචක           දෙන කරණකොට     දෙනුන් කරණකොට

සම්ප්‍ර‍දානවාචක         දෙනට                 දෙනුනට

අපාදානවාචක          දෙන ගෙන්            දෙනුන් ගෙන්

සම්බන්‍ධවාචක         දෙන ගේ              දෙනුන් ගේ

ආධාරවාචක           දෙන කෙරෙහි         දෙනුන් කෙරෙහි

ආලපන                දෙන                   දෙනුනි

 

නපුංසකලිංගික

මල්

                        ඒකවචන              බහුවචන

(උක්ත) කර්‍තෘවාචක    මල                    මල්

(අනුක්ත) කර්‍මවාචක   මල                    මල්

කරණවාචක           මලින්                  මල්වලින්

සම්ප්‍ර‍දානවාචක         මලට                   මල්වලට

අපාදානවාචක          මලෙන්, මල කෙරෙන් මල්කෙරෙන්, මල්වලින්

සම්බන්‍ධවාචක         මලේ, මලෙහි          මල්හි, මල්වල

ආලපන                මල                    මල්නි

 

ඇබෑසිය

 

        මිනිස්, මහලු, මැහැලි, බමුණු, බැමිණි, ගස්, ගල්, වැව් යන ශබ්ද වර නගන්න.

 


ප්‍රාරම්භ පාඨ 15                            විශේෂණ විශේෂ්‍ය

 

“සුදු මල, රතු මල.”

 

16. සුදු මල යැ යි කී කල රතු හෝ නිල් මලක් නො ව සුදු පැහැති ම මලෙකැ යි හැඟේ. අන් පැහැති මල්වලින් එය වෙන් කැරුණේ සුදු යන වචනයෙනි. රතු මල කී කල වෙන පැහැති මල්වලින් වෙන් කොට රතුපැහැ ඇති මල ම යැ යි හැඟැවුණේ රතු යන වචනයෙනි. මෙසේ දැයක් හෝ කෙනකු අන් අය ගෙන් වෙන් කොට දක්වන ගුණවාචක ශබ්ද විශේෂණ නමි. ඒ ශබ්ද මගින් වෙන් කරනු ලබනුයේ විශේෂ්‍ය නමි.

 

        සුදු මල, රතු මල යන තන්හි සුදු, රතු යනු විශේෂණ ශබ්ද යි. මල යනු විශේෂ්‍ය ශබ්ද යි.

 

        හොඳ මිනිහා, නරක ළමයා යන තන්හි ද හොඳ, නරක යනු විශේෂණ යි. මිනිහා, ළමයා යනු විශේෂ්‍ය යි.

 

ඇබෑසිය

 

(අ) විශේෂණ විශේෂ්‍ය පද වෙන් කොට දක්වන්න.

 

1.     උස් ගස සැඬ සුළඟින් ඇද වැටෙයි.

2.    කුඩා ළමයා හීලෑ ගොනා දික් ලණුවෙන් බැඳ ගෙනෙයි.

3.     නපුරු මිනිස්සු දුබල අයට පීඩා කරත්.

4.    අන්‍ධ මිනිහා ගැඹුරු වළෙහි වැටුණේ ය.

5.     සියලු ගෙවල් මහවතුරට යට වූහ.

6.    බොහෝ සිරකරුවෝ අඳුරු හිරගෙහි උන්හ.

7.    දක්‍ෂ ශිෂ්‍යයෝ නිර්‍ලෝභ අධිපතියා ගෙන් වටිනා තෑගි ලැබූහ.

8.     දුෂ්ට ධනවතා දිළිඳු මිනිසා ගෙයින් පලවා හැරියේ ය.

9.    ගිලන් මිනිසා දයාවත් වෙදමහතාගෙන් අත්දුටු බෙහෙතක් ලබාගති.

10.   මේ ගමේ පැරැණි විහාරයෙහි මහා පින්කම් උළෙලක් දැන් පවතී.

 


(ආ) අඩු තැන් විශේෂණ පදවලින් පුරවන්න.

 

1.     ------ මිනිසා ------ ගොනාට ------ ලීයෙන් තැළී ය.

2.    ------ වෙළෙන්දා ------ බඩු ------ මිනිසුනට ------- මිලට වික්කේ ය.

3.     ------ උපාසකවරු ------ විහාරයට ගොස් ------ පොහෝ දිනවලැ  බණ අසත්.

4.    ------ අසු ගේ පිටින් ------ මිනිසා වැටෙයි.

5.     ------ මුවා ------ වැද්දා දැක පැනදිවුයේ ය.

6.    ------ සතුන් ගෙන් වැඩ ගැනීම ------ මිනිසුනට නො වටී.

7.    ------ සිතින් කළ පිනෙහි ------ අනුසස් ඇත.

8.     ------ ළමයාගේ අතෙන් ------ කෝප්පය වැටුණේ ය.

9.    ------ සිවුපාවෝ ------ අඳුරෙහි ගොදුරු සොයා ඇවිදිති.

10.   ------ ශිෂ්‍යයා දඬුවමින් නො කිපෙයි.

 


ප්‍රාරම්භ පාඨ 16                      අව්‍යය (නිපාත උපසර්‍ග)

 

17.     (1) ගොවියා කුඹුරට අද නො යයි.

        (2) මෙහෙකරුවාත් ඔහුගේ පුතාත් කුඹුරට නො යෙති.

        (3) එහෙත් මම නම් එහි යෙමි.

        මේ වාක්‍ය තුනෙන් පළමු වැන්නෙහි “නො යයි” කී තැන නො යනු ද, දෙවෙනි වැකියෙහි මෙහෙකරුවාත් පුතාත් යන තැන්හි ත් යනු ද, තුන්වැනි වාක්‍යයෙහි එහෙත් යනු ද, “මම නම්” යන තැන “නම්” යනු ද දක්නා ලැබෙත්. මොහු නාමපදයෝ ද? “මිනිසා මිනිස්සු” යන ආදි වශයෙන් මොහු කර්‍තෘවාචකාදි අර්‍ථයන්හි වරනැඟෙත් ද? නැත. එසේ නම් කිරීමක් අඟවන ක්‍රියාපද ද? නැත. නාම ක්‍රියා යන දෙ වගට ම අයත් නොවූ මොහු කවුරු ද? මොහු “අව්‍යය” නම් කොටහට ඇතුළත් නිපාත නමින් හැඳින්වෙන්නෝ ය. සුදුසු පරිදි වාක්‍යයෙක මුලට, මැදට හෝ අගට නොයෙක් අර්‍ථ අනුව යෙදෙත්.

 

අව්‍යයනට ඇතුළත් වූ උපසර්‍ග පද පාලි පාඩම් කොටසේදී ඉගැන්වෙයි.

 

ඇබෑසිය

පහත දැක්වෙන වාක්‍යයන්හි නාම ද ක්‍රියා ද යන දෙකොටසට අයත් නොවන පද ඇත් දැ? යි සොයා වෙන ම ලියන්න. ඔවුනට නිපාත යන නම බැවහර කරන්න.

1.     පියා පුතු හා ගෙන් නික්මෙයි.

2.    පියා ද පුතු ද නාන පිණිස යෙති.

3.     අද මිනිස්සු පුරාතනයෙහි සේ නො වෙත්.

4.    අද වූකලි දහමින් පිටතට යන්නෝ බොහෝ වෙත්.

5.     එහෙත් ගුණදහම් රක්නාහු නැත්තාහු ද නො වෙත්.

6.    කථාවෙන් ම ආගම වඩන්නට සැරසෙත් මුත් ක්‍රියායෙන් ආදර්‍ශ දෙන්නෝ ස්වල්ප දෙනෙක් ය.

7.    අද දවසැ වනාහි අපරාධ නම් ඉතා බහුල ය.

8.     මෙය වළක්වා ලන උපාය කිමෙක් ද?

9.    බොරු ඝෝෂණ කෙරෙන් තොර වැ මේ ප්‍ර‍ශ්නය විසඳන්නට තැත් කරත් නම් කොතරම් යහපතෙක් ද?

10.   මේ තාක් මේ පැණය නිසි පරිදි විසඳන්නට ඉදිරිපත් වූවක්හු ගැන මට මතක නැත.


ප්‍රාරම්භ පාඨ 17                                         පූර්‍වක්‍රියා

 

18.     ළමයා ඇඳෙන් නැඟිට එළියට යයි.

        ළමයා එළියට ගොස් මුහුණ සෝදයි.

        ළමයා මුහුණ සෝදා කෑම කයි.

        ළමයා කෑම කා අත කට සෝදයි.

        ළමයා අත කට සෝදා කාමරයට යයි.

 

        මේ උඩ සඳහන් වාක්‍යවල පිළිවෙළින් යයි, සෝදයි, කයි, සෝදයි යයි කියා අවසානයෙහි ක්‍රියාපද දක්නට ඇත. ඒ අවසාන ක්‍රියා හෝ අපර ක්‍රියාවෝ ය. ඒ ක්‍රියාවන් කරන්නට පූර්‍වයෙන් ළමයා කළ ක්‍රියා වගයක් ද පිළිවෙළින් “නැගිට, ගොස්, සෝදා, කා, සෝදා” යැ යි දක්නට ඇත. වාසගමක් ඒ ක්‍රියාවලින් අවසන් කරන්නට නො හැක්ක. “ළමයා නැගිට” කියා වාක්‍යයක් අවසන් කළ හැකි ද? නො හැක්ක. “ළමයා නැගිට කුමක් කරයි ද?” යි ප්‍ර‍ශ්නයෙක් හැඟේ. “ළමයා නැඟිට” යැ යි කී පමණින් අදහසක් සම්පූර්ණයෙන් නො ලැබෙන බැවිනි. “ළමයා නැගිට ය යි” කී විට සම්පූර්‍ණ අදහසෙක් ලැබේ. “නැගිට, යයි” යන ක්‍රියා දෙකෙන් “යයි” යනු අවසාන ක්‍රියාව හෝ අපර ක්‍රියාව යි. එයට පූර්‍වයෙන් කළ දැය අඟවන “නැඟිට” යන්න පූර්‍වක්‍රියාව යි. අනිත් වාක්‍යවලත් සෝදයි, කයි, යයි යනු අපර ක්‍රියා යි. “ගොස්, සෝදා, කා” යනු පූර්‍වක්‍රියා යි.

 

ඇබෑසිය

(අ) පහත සඳහන් වන වාක්‍යවල පූර්‍වක්‍රියා අපරක්‍රියා වෙන වෙන ම දක්වන්න.

1. ළමෝ පාසලට ගොස් උගනිති.

2. ශිෂ්‍යයෝ පාසැලෙන් නික්ම පිට්ටනියට යෙත්.     

3. සොරු රෑ ගේ බිඳ ගෙට වැද බඩු හැරගෙන යති.

4. බල්ලා පිදුරුගොඩට වැද වක ගසාගෙන නිදයි.

5. ගොවියෝ උදලු ගෙන කුඹුරට බැස එය කොටති.

6. කුකුළෝ අලුයමැ අවදි වැ හඬ ලති.

7. බල්ලා අමුත්තා දැක ගොරවා ඉදිරියට පනී.

8. මිනිහා කඹය ගෙන ගොනා ලුහුබැඳ අල්ලා ගනී.

9. කොටියා වස්සා දැක වහා පැන අල්ලාගෙන පලා යයි.

10. බේබද්දෝ තැබෑරුමට ගොස් රා බී මත් වී කලහ කරති.


(ආ) අඩුතැන් පූර්‍වක්‍රියා පදවලින් පුරවන්න.

 

1.      අපි අද ගඟට ------ නාමු.

2.      සොරා ගෙහිමියා ------ ගසෙන් ------ පලායෙයි.

3.      හරක් වැට ------ වත්තට ------ බෝග කාදමති.

4.      වෙළෙන්දා ගමට ------ එලවලු මිලයට ------ කඩපොලට ------ වැඩි මිලට විකුණයි.

5.      මෙහෙකරු හැන්දෑවේ වැඩපොලෙන් ------ ගෙදොරට ------ ඇඟ ------ කෑම ------- නින්දට යයි.

6.      වඩුවෝ පොරෝ ද කියත් ද ------ කැලෑවට ------ ගස් ------ මැසි ------ ඉරත්.

7.      උපාසකවරු වෙහෙරට ------ බුදුරදුන් ------ තෙරුන් ගෙන් බණ ------- පෙරළා ගෙවලට එත්.

8.      ළමෝ හැන්දෑවේ කෑම ------ පාඩම් ------ නින්දට යත්.

9.      හරකා කඹය ------ වත්තට ------ ------ එළවලු කාදමයි.

10.     කොළුවා ගසට ------ පොල් ------ එක් අතෙකින් කුරුම්බාවක් ද ------- සෙමෙන් බිමට බසී.

 


ප්‍රාරම්භ පාඨ 18                             අර්‍ථක්‍රියා, මිශ්‍ර‍ක්‍රියා

 

19.     අර්‍ථක්‍රියාව

 

        “මිනිසා ගමට යන්නේ රුක්සෙවණකට ගොස් ගිමන් හැරියේ ය.”

 

මේ වාක්‍යයෙහි හැරියේ ය යන්න අවසාන (අපර) ක්‍රියා යි කී තැන යන්නේ යනු කවර ක්‍රියාවෙක් ද? මෙය පැරැණි සිංහල ඇදුරෝ අරුත් කිරියැ (අර්‍ථ ක්‍රියා) යි නම් දුන්හ. මෙය ක්‍රියායෙන් හැදෙන නාමයෙකි. එහි කර්‍තෘහට ලිංග විභක්ති සංඛ්‍යා යන තුනින් ම සමාන ව සිටී.

 

ස්ත්‍රී ගමට යන්නී ළිඳක් දැක එය වෙත ගියා ය. මෙ තැන ස්ත්‍රී යන කර්‍තෘ පදයට සමානව යන්නී යි අර්‍ථක්‍රියාව ස්ත්‍රීලිංගික ඒකවචනයෙන් සිටී.

 

20. මිශ්‍ර‍්‍ර‍ක්‍රියාව

ළමයා අඬමින් යෙයි.

 

        මෙහි “යයි” යන්නෙන් අඟවන ක්‍රියාව කරන සමග ම ඇඬීම කරන බව දැක්වේ. ප්‍ර‍ධාන ක්‍රියාව යයි යනුවෙන් දැක්වෙන එක ය. එයට මිශ්‍ර‍ ව කරන අනිත් ක්‍රියාව “අඬමින්” යන්නෙන් දැක්වේ. මෙය සිංහල ඇදුරෝ මුසුකිරිය (මිශ්‍ර‍ක්‍රියා) නමින් හැඳින්වූහ.

 

*    *    *

 

 

දැන් ඉගැන්වුණු මේ මූලික සිංහල ව්‍යාකරණ

පාඩම් ටික හොඳට පුහුණු කොට ගෙන

පාලිභාෂාව ඉගැනීම පටන්ගන්න.

 

________

 



1                                                    පාළි හෝඩිය

 

පාළි භාෂායෙහි අකුරු හතලිස් එකෙකි. එයින් පළමු වන අට ස්වරයෝ ය. ඉතිරි අකුරු ව්‍යංජනයෝ ය.

 

ස්වර අට

 

අ   ආ   ඉ   ඊ   උ   ඌ   එ   ඔ

 

ව්‍යංජන තෙතිස

 

        ක්  ඛ්  ග්  ඝ්  ඩ්                       ක-වර්‍ගය

        ච්  ඡ්  ජ්  ඣ් ඤ්                      ච-වර්‍ගය‍

ට්  ඨ්  ඩ්  ඪ්  ණ්                      ට-වර්‍ගය

ත්  ථ්  ද්  ධ්  න්                       ත-වර්‍ගය

        ප්  ඵ්  බ්  භ්   ම්                      ප-වර්‍ගය

        ය්  ර්  ල්  ව්  ස්  හ්  ළ් (අං)           අවර්‍ගය

 

හ්‍ර‍ස්ව දීර්‍ඝ

        නො ඇදී කියැවෙන ස්වරයෝ හ්‍ර‍ස්ව නම්හ. ඇදී කියැවෙන්නෝ දීර්‍ඝ නම්හ. අ, ඉ, උ යන තිදෙන හ්‍ර‍ස්වයෝ ය. ආ, ඊ, ඌ යන තිදෙන දීර්‍ඝයහ.

 

        ඒ - ඔ දෙදෙනා නො බැඳුණු අකුරුවලට මුලින් සිටැ දීර්‍ඝ වැ (ඇදී) කියැවෙත්. බැඳි අකුරුවලට මුලින් සිටැ බොහෝ තැන හ්‍ර‍ස්ව වැ (නො ඇදී) කියැවෙත්.

 

        එත්‍ථ, ඔට්ඨො යන මෙහි ත්‍ථ-යන්නට මුලින් සිටි තනි එ යන්න ද, ට්ඨො යන්නට මුලින් සිටි තනි ඔ යන්න ද නො ඇදී කියැවෙත්.

 

        සෙය්‍යො, සොත්‍ථි යන තන්හි ව්‍යංජනයන් හා එක් වැ සිටි එ - ඔ දෙදෙන බැඳි අකුරින් පෙරටු වැ සිට නො ඇදී (හ්‍ර‍ස්ව වැ) කියැවෙත්.

සිථිල ධනිත

        ක - ච - ට - ත - ප යන වර්‍ග පසේ දෙවෙනි සතරවන අකුරු ධනිත නම්හ. (සාමාන්‍ය ව්‍යවහාරයෙහි මහාප්‍රාණ යැ යි මොවුනට නම් කරනු ලැබේ.) සෙස්සෝ සිථිල නම්හ. (අල්ප අකුරු යැ යි පොදු වහරෙහි නම් කැරෙනුයේ මොවුනට ය.)

 

ඝෝෂ අඝෝෂ

        කවර්‍ග, චවර්‍ග ආදි වර්‍ගයන් ගේ පළමුවන දෙවෙනි අකුරු ද ස යන්න ද අඝෝෂ නම්හ. සෙස්සෝ ඝෝෂ නම් වෙති.

 

වර්‍ගාන්ත

        වර්‍ග පසේ කෙළවරැ වූ ඩ් ඤ් ණ් න් ම් යන පස වර්‍ගාන්ත නම් හ.

 

ඇබෑසිය

1.     පාලි භාෂාවේ අකුරු කොතෙක් ද? ඒ කවුරුහු ද? ස්වරයෝ කවුරු ද? ව්‍යංජනයෝ කවුරු ද?

 

2.    හ්‍ර‍ස්වයෝ කවුරු ද? දීර්‍ඝයෝ කවුරු ද?

 

3.     පූජෙමි, කුසුමෙන, හොතු, මොක්ඛො, කායො, මෙත්තං, කරොථ, යොබ්බතං යන මේ පදවල එ - ඔ දෙක හ්‍ර‍ස්ව ව ද දීර්‍ඝ ව ද කියැවෙන තැන් දක්වන්න.

 

4.    නමො තස්ස භගවතො. මෙහි ස්වර ව්‍යංජන වෙන් කරනු. ඝෝෂ අඝෝෂ ද වෙන් කරන්න.

 

5.     නමො සම්මාසම්බුද්ධස්ස. මෙහි ඒ ඒ අකුරු කවර කවර වර්‍ගවලට අයත්හු දැ? යි දක්වන්න.

 

6.    බුද්ධං සරණං ගච්ඡාමි. මෙහි සිථිල ධනිත වෙන් වෙන් කොට ලියන්න.


2                                                          විභත්ති

 

1. පදයන් ගේ මුල ප්‍ර‍කෘති නමි.

 

        බුද්ධ, ධම්ම, සඞ්ඝ, මග්ග, කාය යනු පාලිභාෂාවේ ශබ්ද ප්‍ර‍කෘති (මුල් ශබ්ද) කිහිපයෙකි. වාක්‍යයෙක යෙදෙන විට අදහසට ගැළැපෙන සැටියෙන් මේ ශබ්ද වෙනස් වේ.

 

        බුද්ධො විහරති (බුදුරජ වෙසෙයි)

 

        බුද්ධං වන්‍දාමි (බුදුරජු වඳිමි)

 

        බුද්ධෙන ජනො සුඛීජාතො (බුදුරජු කරණ කොට ගෙන ජනයා සුව  පත් විය.)

 

        මේ වාක්‍ය තුනේ “බුද්ධො බුද්ධං බුද්ධෙන” යැ යි එක ම බුද්ධ ශබ්දය තුන් අතකට වෙනස් වී ඇත. ඒ වෙනස ද වන්නේ ඒ ශබ්දයේ අගට යි.

 

2. බුද්ධ යනු මුල් ශබ්දය යි. (ප්‍ර‍කෘතිය යි). එහි අග ධ යන්නේ ඇත්තේ “ධ් + අ” යන අකුරු දෙක ය. එහි අග අයන්න නැති වී එ තැනට ඔ යන්නෙක් එයි. එවිට (බුද්ධ් ඔ =  බුද්ධො යි පදය හැදේ. බුද්ධං යැ යි කී තැන බුද්ධ ශබ්දයේ අග “අං” වී තිබේ. “බුද්ධෙන” කී තැන බුද්ධ ශබ්දයේ අග “එන” වී තිබේ.

 

        මෙසේ ශබ්දයෙක අගට එකතු වී එය කිහිප අතකට බෙදන ඒ අකුරුවලට විභක්ති යැ යි කියත්.

 

        පාලි භාෂායෙහි එසේ වූ විභක්ති අට වගයෙක් ඇත. ඒවාට පාලියෙන් කියන නම් සහ එහි සිංහල තේරුම පහත දැක්වේ.[1]


පාලි                            සිංහල තේරුම

පඨමා විභත්ති                         (පළමු විබත)

ආලපනෙ පඨමා                       (අලප් අරුතැ පළමු විබත[2]*)

දුතියා විභත්ති                          (දෙවෙනි විබත)

තතියා විභත්ති                         (තෙවෙනි විබත)

චතුත්‍ථි විභත්ති                         (සතර වැනි විබත)

පඤ්චමී විභත්ති                       (පස් වැනි විබත)

ඡට්ඨි විභත්ති                          (ස වැනි විබත)

සත්තමී විභත්ති                        (සත් වැනි විබත)

 

3. දැන් විභක්ති අට ම එක් වී හැදුණු පද වැලෙක් දැක්වේ. ඒවායේ අගට එක් වී තිබෙන විභක්ති සොයා බලන්න.

 

ප්‍ර‍කෘතිය - බුද්ධ

                    ඒකවචන                    බහුවචන

පඨමා විභත්ති     බුද්ධො                       බුද්ධා

ආලපනෙ පඨමා   බුද්ධ                         බුද්ධා

දුතියා විභත්ති      බුද්ධං                        බුද්ධෙ

තතියා විභත්ති     බුද්ධෙන                     බුද්ධෙභි, බුද්ධෙහි

චතුත්‍ථි විභත්ති     බුද්ධාය, බුද්ධස්ස             බුද්ධානං

පඤ්චමී විභත්ති   බුද්ධා, බුද්ධම්හා, බුද්ධස්මා   බුද්ධෙභි, බුද්ධෙහි

ඡට්ඨි විභත්ති      බුද්ධස්ස                      බුද්ධානං

සත්තමී විභත්ති    බුද්ධෙ, බුද්ධම්හි, බුද්ධස්මිං   බුද්ධෙසු

 

ඇබෑසිය

1.     උඩ සඳහන් පදවැලෙහි බුද්ධ ශබ්දයේ අගට එක්ව ඇති විභක්තීන් සොයා ගෙන වෙන ම විභත්ති පිළිවෙළ අනුව ලියන්න.

2.    ශබ්ද ප්‍ර‍කෘති නම් කවරේ ද?

3.     පාලි භාෂාවේ නාමවිභක්ති කීයෙක් ඇද්ද?


3-1                                            පඨමාවිභත්‍යන්ත

 

පළමු කොටස - ඒකවචන

 

4. ක්‍රියාවෙන් උක්ත වන පදය පඨමා විභත්තිය එක්ව හැදුණු (පඨමා විභත්ත්‍යන්ත) එකෙකි. (මේ පොතේ ප්‍රාරම්භයේ පළමු වන පාඩමේ අංක 3 කියවා සිතට ගන්න.)

       

        ශබ්ද ප්‍ර‍කෘතිය                  පඨමාවිභත්තික ඒක වචනය

        අස්ස (අශ්ව)                   අස්සො (අශ්වයා)

        ගජ (ඇත්)                      ගජො (ඇතා)

        සුනඛ (බලු)                    සුනඛො (බල්ලා)

        වානර (වඳුරු)                  වානරො (වඳුරා))

 

5. ක්‍රියාපද

 

        “ගච්ඡති” මෙය වර්‍තමානකාලික (දැන් කරන ක්‍රියාවක් අඟවන) ක්‍රියාපදයෙකි.

 

        “යයි” යනු එහි තේරුම යි. එයින් එක් කෙනකු යන බව ම හැඟෙයි. එබැවින් එය ඒකවචන ක්‍රියාපදයෙකි.

 

        පුරිසො ගච්ඡති (පුරුෂයා යයි)

        අස්සො ධාවති (අශ්වයා දුවයි)

 

        මෙහි ගච්ඡති (යයි) යනු ඒකවචන ක්‍රියාපදයෙකි. එයින් උක්ත වූ කර්‍තෘ පදය පුරිසො (පුරුෂයා) යන්න යි. එය පඨමා විභත්ත්‍යන්ත ඒකවචන පදයෙකි. ධාවති යනු ඒකවචන ක්‍රියාපද යි. අස්සො යනු එහි උක්තකර්‍තෘ පදය යි. එය ද පඨමා විභක්තිකව සිටී.

 

        උක්තකර්‍තෘ ගැන ප්‍රාරම්භ කාණ්ඩයේ 13 වැනි පාඩම යලිත් කියවා බලන්න.

 


ඇබෑසිය

 

1.      අස්ස (අශ්ව), ගජ (ඇත්), සුනඛ (බලු), වානර (වඳුරු), ගොන (ගොන්), මූසික (මී), බිළාල (බළල්) යන ප්‍ර‍කෘතිශබ්දවලින් පඨමාවිභත්තික ඒකවචන රූප සාදන්න. තේරුම් ද දෙන්න.

 

2.      සිංහලයට නගන්න.

        1. මූසිකො ධාවති.             4. ගොනො ධාවති.

        2. ගජො ධාවති.               5. බිළාලො ගච්ඡති.

        3. සුනඛො ගච්ඡති.            6. වානරො ධාවති.

 

3.      පහත දැක්වෙන ශබ්දප්‍ර‍කෘතිවලින් පඨමාවිභත්තික ඒකවචන සාදන්න. පහත දැක්වෙන ක්‍රියාපද හා එකට ගළපා වාක්‍ය සාදන්න. තේරුම් ද ලියන්න.

 

        පුරිස (පුරුෂ)                   තිට්ඨති (සිටී)

        කුක්කුර (බලු)                  නිසීදති (හිඳී)

        බාලක (ළමා)                  සයති (වැදහෙයි)

        පුත්ත (පුත්)                    උට්ඨහති (නැඟීසිටී)

        භාතික (සහෝදර)              ආගච්ඡති (එයි)

        රුක්ඛ (ගස්)                    කීළති (සෙල්ලම් කරයි)

        වාත (සුළං)                    පතති (වැටෙයි)

                                        වායති (හමයි)

 


 

3-2                                           පඨමාවිභත්‍යන්ත

 

දෙවෙනි කොටස - බහුවචන

 

        අස්ස (අශ්ව) යනු ප්‍ර‍කෘතිය යි. එයින් හැඟෙන පඨමා විභත්තික බහුවචනය අස්සා යනු යි. “අශ්වයෝ” යනු එහි තේරුම යි.

        ගච්ඡති යනු ඒකවචන ක්‍රියාපදයෙකි. එහි බහුවචනය ගච්ඡන්ති (යත්) යනු යි.

        ක්‍රියාව බහුවචන වූ කල එයින් උක්ත වූ කර්‍තෘ පඨමා විභත්තික බහුවචනයෙන් සිටී. අස්සා ගච්ඡන්ති (අශ්වයෝ යත්) යනු නිදර්‍ශන යි.

 

        මතු දැක්වෙන වාක්‍ය හැදී ඇති සැටි සලකන්න.

 

        පුරිසා ගච්ඡන්ති (පුරුෂයෝ යත්)

        අස්සා ධාවන්ති (අශ්වයෝ දුවත්)

        කුක්කුරා සයන්ති (බල්ලෝ වැදහෙත්)

        බාලකා තිට්ඨන්ති (ළමෝ සිටිත්)

 

        ක්‍රියාව බහුවචන වූ කල එයින් උක්ත කර්‍තෘ ද පඨමාවිභත්තික බහුවචනයෙන් සිටිය යුතු යි.

 

ඇබෑසිය

1.     නිසීදති, උට්ඨහන්ති, ආගච්ඡති, කීළති, පතති, වායති යන ක්‍රියාවල බහුවචන රූප දෙන්න. තේරුම් ද ලියන්න.

 

2.    බාලක, පුත්ත, භාතික, රුක්ඛ, වාත, කුක්කුර යන ශබ්දවල පඨමාවිභත්තික බහුවචන රූප දී තේරුම් ද ලියන්න.

 

3.     සිංහලයට නඟන්න.

කුක්කුරා ධාවන්ති, බාලකා කීළන්ති, අස්සා සයන්ති, පුරිසා ආගච්ඡන්ති, රුක්ඛා පතන්ති, ගජා උට්ඨහන්ති, වාතා වායන්ති.

 

4.    පාලියට නඟන්න.

බල්ලා දුවයි, වඳුරෝ වැටෙත්, ළමෝ හිඳිත්, ගස වැටෙයි, සුළඟ හමයි, පුරුෂයෝ නැගිටිත්.


4                                           දුතියාවිභත්තික පද

 

ක්‍රියාවෙන් උක්ත නොවූ කර්‍මය (අනුක්ත කර්‍මය) දුතියා විභත්තික පදයෙන් ද විභත්තික පදයෙන් දැක්වෙයි. (අනුක්ත පද යන්න ආරම්භයේ 13 පාඩම බලා දැනගන්න.)

 

        දුතියාවිභත්තික ඒකවචන හා බහුවචන පහත දැක්වේ.

 

        ඒකවචන                      බහුවචන

        අස්සං (අශ්වයා)               අස්සෙ (අශ්වයන්)

        ගජං (ඇතා)                    ගජෙ (ඇතුන්)

        සුනඛං (බල්ලා)                සුනඛෙ (බල්ලන්)

        වානරං (වඳුරා)                 වානරෙ (වඳුරන්)

        රුක්ඛං (ගස)                   රුක්ඛෙ (ගස්)

 

        අනුක්ත කර්‍මවාචකය දුතියාවිභක්තික පදයෙන් සිටී.

 

        පුරිසො රුක්ඛං ඡින්‍දති         පුරිසො රුක්ඛෙ ඡින්‍දති

        (මිනිසා ගස කපයි)            (මිනිසා ගස් කපයි)

 

        ගජො පුරිසං පහරති           ගජා පුරිසං පහරන්ති

        (ඇතා මිනිසාට ගසයි)         (ඇත්තු මිනිසුනට ගසත්)

 

        කස්සකො ගොනං බන්‍ධති     කස්සකා ගොනෙ බන්‍ධන්ති

        (ගොවියා ගොනා බඳී)         (ගොවියෝ ගොනුන් බඳිත්)

 

        බාලකො බිළාලං පොසෙති    බාලකා බිළාලෙ පොසෙන්ති

        (ළමයා බළලා පෝෂිත කරයි)  (ළමෝ බළලුන් පෝෂණය කරත්)

 

        මේ වාක්‍යවල රුක්ඛං රුක්ඛෙ,  පුරිසං පුරිසෙ යන ආදීන් ඡින්‍දති ඡින්‍දන්ති ආදි ක්‍රියාවන් ගෙන් අනුක්ත වූ කර්‍මපදයෝ ය. ඔහු දුතියාවිභත්තික ව සිටිත්.

 

        6. යම් තැනකට යෙයි ද, වදී ද, නඟී ද, බසී ද ඒ හැම දුතියාවිභත්ත්‍යන්ත පදයෙන් සිටී. බාලකො විජ්ජාලයං ගච්ඡති (ළමයා විදුහලට යෙයි). වානරො රුක්ඛං ආරුහති (වඳුරා ගස නඟී). ගජො කාසාරං ඔතරති (ඇතා විලට බසී). ගොනා වජං පවිසන්ති (ගොන්නු ගාලට වදිත්).

ඇබෑසිය

 

(අ)     පහත දැක්වෙන නාමයන්ගේ පඨමාවිභත්තික, දුතියාවිභත්තික, ඒකවචන, බහුවචන දෙනු. අර්‍ථ ද ලියනු.

       

        සාටක (සළු),                   අජ (එළු),

        රථ (රිය),                       ව්‍යග්ඝ (ව්‍යාඝ්‍ර‍),

        ලුද්දක (වැදි),                   මිග (මුව),

        අජගර (පිඹුරු)                 සප්ප (සර්‍ප),

        කලන්‍දක (ලෙහෙන)            සිලුත්ත (ගරඬි),

        චොර (සොර),                 සූද (අරක්කැමි).

 

(ඉ)     මෙහි දැක්වෙන ක්‍රියාවන්ගේ බහුවචනරූප දෙන්න.

       

        ඛාදති (කයි)                        අනුඛන්‍ධති (ලුහුබඳී)

        භුඤ්ජති (වළඳයි)                  විජ්ඣති (විදී)

        වහති (උසුලයි, උසුලාගෙන යයි)  ඡින්‍දති (කපයි)

        හරති (ගෙන යයි)                  කම්පති (සැලෙයි)

        ආහරති (ගෙනෙයි)                 මාරෙති (මරයි)

        වෙඨෙති (වෙළයි)                  බන්‍ධති (බඳී)

        පාතෙති (හෙළයි)                  මාපෙති (මවයි, සාදයි)

        ඩසති (ඩැහැගනී, සපයි)

 

(ඊ)     සිංහලයට නඟන්න

        1. අජගරො අජං වෙඨෙති.         4. ලුද්දකා මිගෙ විජ්ඣන්ති.

        2. ව්‍යග්ඝො ගොනං මාරෙති.      5. වාතො රුක්ඛෙ පාතෙති.

        3. අස්සා රථං වහන්ති.             6. සප්පො මූසිකං ඛාදති.

                         7. බිළාලො කලන්‍දකං අනුබන්‍ධති.

 

(උ)     පාලියට නඟන්න.

        1. බල්ලා ගොනා සපයි.            5. පිඹුරා බල්ලා වෙළයි.

        2. බළල්ලු මීයන් කත්.              6. මිනිස්සු විලට බසිත්.

        3. පුරුෂයෝ ඇතා බඳිත්.          7. වඳුරෝ ගස නඟිත්.

        4. වැද්දා මුවා ලුහුබඳී.              8. ළමෝ ගමට යත්.

                          9. සොරු ගමට වදිත්.


5                                      තතියාවිභත්ත්‍යන්ත පද

 

7.      කරණාර්‍ථය තතියා විභත්තික පදයෙන් දැක්වෙයි.

        (මෙහි ආරම්භයේ තුන්වැනි පාඩම කියවා කරණාර්‍ථය තේරුම් ගන්න.)

       

තතියා ඒකවචන       පුරිසෙන (පුරුෂයා කරණ කොට ගෙන)

 

තතියා බහුවචන       පුරිසෙභි, පුරිසෙහි (පුරුෂයන් කරණ කොටගෙන)

 

තතියා ඒකවචන       හත්‍ථෙන (අතින්, අත කරණ කොට ගෙන)

 

තතියා බහුවචන       හත්‍ථෙහි, හත්‍ථෙභි (අත්වලින්, අත් කරණ

                        කොට ගෙන)

 

ශබ්ද මාලාව

        ප්‍රකෘතිය                පඨමා ඒකවචනය

        රොග                  රොගො (ලෙඩ)

        කස්සක                කස්සකො (ගොවියා)

        ලගුළ                   ලගුළො (පොල්ල)

        දණ්ඩ                  දණ්ඩො (දංඩ, ලීය)

        ඛග්ග                   ඛග්ගො (කඩුව)

        ගෙණ්ඩුක              ගෙණ්ඩුකො (පන්දුව)

        පාසාද                 පාසාදො (ප්‍රාසාදය)

        භාර                    භාරො (බර)

        භොග                  භොගො (සර්‍පයාගේ කඳ, දරණ වැල)

        අජගර                  අජගරො (පිඹුරා)

        පොත                  පොතො (නැව)

        නඛ                    නඛො (නිය)

        අගද                   අගදො (බේත)

        කොධ                  කොධො (ක්‍රෝධය)

        අක්කොධ              අක්කොධො (අක්‍රෝධය)

        ඛන්‍ධ                   ඛන්‍ධො (උරහිස)

        මිග                    මිගො (මුවා)


ක්‍රියාපද

 

        පහරති (ගසයි)        

        කීළති (සෙල්ලම් කරයි)

        දාළෙති (ඉරාලයි, පළයි)

        තරති (ඉක්ම යයි. එ තෙරට යයි)

        ජිනාති (දිනයි)

        වූපසම්මති (සංසිඳෙයි, සුව වෙයි, නිවෙයි)

        වූපසමෙති (සංසිඳුවයි)

 

ඇබෑසිය

 

(අ) සිංහලයට නඟන්න.

        1. පුරිසො අගදෙන රොගං වූපසමෙති.

        2. කස්සකො දණ්ඩෙන ගොනං පහරති.

        3. බාලකා ගෙණ්ඩුකෙහි කීළන්ති.

        4. ව්‍යග්ඝො නඛෙහි අජං දාළෙති.

        5. පුරිසා පොතෙන සමුද්දං තරන්ති.

        6. පණ්ඩිතො අක්කොධෙන කොධං ජිනන්ති.

        7. රොගා අගදෙහි වූපසම්මන්ති.

 

(ආ) පාලියට නඟන්න.

        1. ළමයා අතින් ගොනාට ගසයි.

        2. පිඹුරා භෝගයෙන් (දරණවැලින්) මුවා වෙළයි.

        3. මිනිසා කඩුවෙන් සොරාට ගසයි.

        4. ගොවියෝ පොළුවලින් සොරුනට ගසත්.

        5. බළලා නියවලින් සර්‍පයාට ගසයි.

        6. අක්‍රෝධයෙන් ක්‍රෝධය නිවෙයි.

        7. දාසයා උරහිසින් බර උසුලා ගෙන යයි.

 


6                                      චතුත්ථිවිභත්ත්‍යන්ත පද

 

8. සම්ප්‍ර‍දානාර්‍ථය චතුත්‍ථිවිභත්තික පදයෙන් දැක්වෙයි.

   (මෙහි ප්‍රාරම්භයේ සතරවන පාඩම නැවැතත් කියවන්න.)

 

චතුත්‍ථ එකවචන       පුරිසාය, පුරිසස්ස (පුරුෂයාට, පුරුෂයා පිණිස,

                        පුරුෂයා සඳහා)

චතුත්‍ථි බහුවචන       පුරිසානං (පුරුෂයනට, පුරුෂයන් පිණිස,

                        පුරුෂයන් සඳහා)

චතුත්‍ථි එකවචන       හත්‍ථාය, හත්‍ථස්ස (අතට, අත පිණිස)

චතුත්‍ථි බහුවචන       හත්‍ථානං (අත්වලට)

 

9. දෙන්නේ යමකුට ද හේ චතුත්‍ථිවිභත්තික පදයෙන් දැක්වෙයි.

        කුටුම්බිකො යාචකාය ආහාරං දෙති.

        (කෙළෙඹියා සිඟන්නාට අහර දෙයි.)

        කුටුම්බිකො යාචකානං ආහාරං දෙති.

        (කෙළෙඹියා සිඟන්නනට අහර දෙයි.)

 

10. කිසිවක් කරනුයේ යමකු පිණිස ද යමකු සඳහා ද හේ චතුත්‍ථි විභත්ත්‍යන්ත පදයෙන් සිටී.

        සූදො ආගන්තුකස්ස ආහාරං පටියාදෙති.

(අරක්කැමියා අමුත්තා පිණිස - අමුත්තා සඳහා - අහර පිළියෙල කරයි.)

 

11.කිපෙන්නේ හෝ ඊර්‍ෂ්‍යා කරන්නේ යමකුට ද හේ ද චතුත්‍ථි විභත්ත්‍යන්ත පදයෙන් සිටී.

        භූපො අමච්චස්ස කුජ්ඣති.

        (රජ තෙමේ ඇමැත්තාට කිපේ.)

        භූපො අමච්චානං කුජ්ඣති.

        (රජ තෙමේ ඇමැත්තනට කිපේ.)

        කුටුම්බිකො වාණිජස්ස උසූයති.

        (කෙළෙඹියා වෙළෙඳාට ඊර්‍ෂ්‍යා කෙරෙයි.)

 

12.කැමැති වන්නේ යමකට ද එයත් චතුත්‍ථිවිභත්ත්‍යන්ත පදයෙන් සිටී.

        බාලකො මොදකාය පිහයති.

        (ළමයා රසකැවිල්ලට කැමැති වෙයි.)


ශබ්ද මාලාව

පඨමා විභත්ත්‍යන්ත ඒකවචනය

පිණ්ඩ (පිඩු)                         පිණ්ඩො (පිඩුව)

තච්ඡක (වඩු)                       තච්ඡකො (වඩුවා)

යොධ (සෙබළ)                     යොධො (සෙබළා)

ගොචර (ගොදුරු)                   ගොචරො (ගොදුර)

නිගළ (හැකිලි)                      නිගළො (හැකිල්ල)

කකච (කියත්)                       කකචො (කියත)

නිවාස (නවාතැන්)                  නිවාසො (නවාතැන)

උපහාර (තෑගි)                      උපහාරො (තෑග්ග)

විචරති (ඇවිදී)                      හත්‍ථිගොපකො (ඇත්ගොව්වා)

පටියාදෙති (පිළියෙල කරයි)        උපනාමෙති (පිරිනමයි)

ජිනාති (දිනයි)                      ඔවදති (අවවාද කරයි)

පටිජග්ගති (රැකගනී, සකස් කරයි, පෝෂිත කරයි)

 

ඇබෑසිය

(අ)     සිංහලයට නඟන්න.

        1. කුටුම්බිකො යාචකස්ස ආහාරං දෙති.

        2. තච්ඡකා භූපස්ස පාසාදං මාපෙන්ති.

        3. අමච්චො කුමාරස්ස උසූයති.

        4. භූපො යොධානං කුජ්ඣති.

        5. සිගාලො ගොචරාය විචරති.

        6. වාණිජො තච්ඡකස්ස කකචං දෙති.

        7. අමච්චා ආගන්තුකානාං නිවාසෙ පටියාදෙන්ති.

        8. උපාසකා ථෙරස්ස ආවාසං පටිජග්ගන්ති.

        9. හත්‍ථිගොපකා නිගළෙන ගජං බන්‍ධන්ති.

        10. සජ්ජනා චාගෙන ලොභං ජිනන්ති.

 

(ආ)    පාලියට නඟන්න.

        1. ගොවියෝ ගොනනුට ආහාර දෙත්.

        2. ළමයා බළලාට එළකිරි දෙයි.

        3. අරක්කැමියෝ මඟීනට ආහාර පිළියෙල කරත්.

        4. ඇමැතියා ශිෂ්‍යයනට තෑගි පිරිනමයි.

        5. ගුරුවරයා සිසුනට අවවාද කරයි.

        6. කෙළෙඹියා වෙළෙන්දාට ඊර්‍ෂ්‍යා කෙරෙයි.

        7. තෙපි අක්‍රෝධයෙන් ක්‍රෝධය දිනවු.

        8. මහණ තෙම පිඬු පිණිස හැසිරෙයි.

        9. සිංහයා ගොදුරු පිණිස හැවිදී.

        10. වඩුවෝ කියතින් ගස ඉරත්.

7                                            පංචමීවිභත්ත්‍යන්ත

 

13. අපාදාන (අවධි) අර්‍ථය පඤ්චමීවිභත්තික පදයෙන් දැක්වේ. (ප්‍රාරම්භයේ 5 වැනි පාඩම කියවන්න.)

        ඒකවචන              පුරිසා, පුරිසම්හා, පුරිසස්මා

                                (පුරුෂයා ගෙන්, පුරුෂයා කෙරෙන්)

        බහුවචන               පුරිසෙහි, පුරිසෙහි

                                (පුරුෂයන් ගෙන්, පුරුෂයන් කෙරෙන්)

        ඒකවචන              හත්‍ථා, හත්‍ථම්හා, හත්‍ථස්මා

                                (අතෙන්, අත කෙරෙන්)

        බහුවචන               හත්‍ථෙභි, හත්‍ථෙහි

                                (අත්වලින්, අත් කෙරෙන්)

        ඉවත් වන්නේ යමෙකින් ද, යමක් කෙරෙන් ද, යමකුගෙන් ද එය හෝ ඔහු පඤ්චමීවිභත්තික පදයෙන් දැක්වේ.

        ඒකවචන      පුරිසො ගාමා නික්ඛමති

                        පුරිසො ගාමස්මා නික්ඛමති

                        පුරිසො ගාමම්හා නික්ඛමති

                        (පුරුෂයා ගමෙන් නික්මෙයි.)

        බහුවචන       පුරිසා ගාමෙභි (ගාමෙහි) නික්ඛමන්ති

                        (මිනිස්සු ගම් කෙරෙන් (ගම්වලින්) නික්මෙත්.)

 

14. බිය වන්න් යමකුගෙන් ද එයත් පංචමීවිභත්තික පදයෙන් දැක්වෙයි.

        පුරිසො සප්පම්හා භායති (මිනිසා සර්‍පයා ගෙන් බිය ගනී.)

ශබ්ද මාලාව

        ප්‍ර‍කෘතිය                පඨමාවිභත්ත්‍යන්ත (ඒකවචන)

        වජ                     වජො (ගාල)

        චොර                  චොරො (සොරා)

        ගාම                    ගාමො (ගම)

        පාසාද                 පාසාදො (පහය)

        ගෙහ                   ගෙහො (ගෙය)

        විහාර                  විහාරො (වෙහෙර)

        උපාසක                උපාසකො (උපාසකයා)

        තාපස                  තාපසො (තවුසා)

        රොග                  රොගො (ලෙඩ)

        සත්ත                  සත්තො (සත්ත්‍වයා)


        සංසාර                 සංසාරො (සසර)

        මහිස                   මහිසො (මියුවා)

        සද්ද                    සද්දො (ශබ්දය)

                නික්ඛමති (නික්මෙයි)

                චරති (හැසිරෙයි)

                උත්තරති (ගොඩ නැඟේ)

                උත්තාරෙති (ගොඩ නඟයි)

                උත්තසති (තැති ගනී)

                මුච්චති (මිදෙයි)

                පතති (වැටෙයි)

                තිච්ඡරති (නිකුත් වේ)

                නීහරති (මෑත් කෙරෙයි, බැහැරැ කෙරෙයි)

                නික්කඩ්ඪති (පිටමං කරයි, මෑත් කරයි)

                භායති (බිය ගනී)

ඇබෑසිය

(අ)     සිංහලයට නඟන්න.

        1. ගොනා වජම්හා නික්ඛමන්ති.

        2. වානරො රුක්ඛම්හා පතති.

        3. චොරා ගාමම්හා පලායන්ති.

        4. භපො පාසාදා ඔරුහති.

        5. මූසිකො බිළාලම්හා මුච්චති.

        6. බාලකා සිලුත්තම්හා කලන්‍දකං මුඤ්චන්ති.

        7. දාසො දණ්ඩෙන සප්පං ගෙහා නික්කඩ්ඪති.

        8. දාරකො ගජම්හා භායති.

        9. චොරා ගෙහස්මා පලායන්ති.

        10. ගජා පබ්බතම්හා ඔරුහන්ති.

(ආ)    පාලියට නඟන්න.

        1. උපාසකවරු විහාරයෙන් නික්මෙත්.

        2. තවුසෝ පිඬු පිණිස හැසිරෙත්.

        3. බුදුවරු සත්ත්‍වයන් සසරින් ගොඩනඟත්.

        4. ගොනා ව්‍යාඝ්‍ර‍යා ගෙන් තැති ගනී.

        5. මීයා ගරඬියා ගෙන් මිදෙයි.

        6. සොරා ගසෙන් වැටෙයි.

        7. මිනිස්සු බෙහෙත් කරණ කොට ගෙන ලෙඩවලින් මිදෙත්.

        8. ගොවියා ගමෙන් මියුවකු ගෙනෙයි.

        9. ගොන්නු ගාලෙන් පිට ව යෙත්.

        10. ගසෙන් හඬෙක් නිකුත් වෙයි.

8                                           ඡට්ඨිවිභත්‍යන්ත පද

 

15. ඡට්ඨිවිභත්ත්‍යන්ත පදයෙන් සම්බන්‍ධය දැක්වේ. (ප්‍රාරම්භයේ 6 වන පාඩම යලිත් කියවන්න.)

        ඒකවචන              පුරිසස්ස (පුරුෂයා ගේ)

        බහුවචන               පුරිසානං (පුරුෂයන් ගේ)

        ඒකවචන              හත්‍ථස්ස (අතේ, අතට අයත්)

        බහුවචන               හත්‍ථානං (අත්වල, අත්වලට අයත්

 

ශබ්ද මාලාව

        ප්‍ර‍කෘතිය                පඨමාවිභත්ත්‍යන්ත (ඒකවචනය)

        අන්තෙවාසික          අන්තෙවාසිකො (අතැවැස්සා, ශිෂ්‍යයා)

        විවාද                   විවාදො (විවාදය, ආරාවුල)

        පරිබ්බාජක             පරිබ්බාජකො (පිරිවැජියා)

        වණ්ණ                 වණ්ණො (පැහැය, ගුණය)

        මිත්ත                  මිත්තො (මිතුරා)

        හෙට්ඨාභාග            හෙට්ඨාභාගො (යට කොටස)

        කාසාර                 කාසාරො (විල)

        සමණ, පබ්බජිත       සමණො, පබ්බජිතො (පැවිද්දා)

        භාතික                 භාතිකො (සොහොයුරා)

        ථෙර                   ථෙරො (ස්ථවිරයන් වහන්සේ)

        සෙවක                 සෙවකො (සේවකයා, මෙහෙකරුවා)

        ඛග්ග                   ඛග්ගො (කඩුව)

        පාණඝාත              පාණඝාතො (ප්‍රාණවධය)

        ආචරිය                 ආචරියො (ඇදුරා)

        දාරක                   දාරකො (දරුවා)

        විහාර                  විහාරො (වෙහෙර)

        සාකටික               සාකටිකො (ගැල්පදුවා)

        උම්මග්ග               උම්මග්ගො (උමඟ)

        නිවාස                 නිවාසො (ගෙය, නවාතැන)

        රාජපුරිස               රාජපුරිසො (රාජපුරුෂයා)

 


ක්‍රියා පද

        පවිසති (ඇතුල් වෙයි)          භාසති (කියයි)

        කන්තති, ඡින්‍දති (කපයි         සොධෙති (ශුද්ධ කරයි)

        තාළෙති (තළයි)                පලාපෙති (පලවා හරී)

        විරමති (වළකී)                 ඔවදති (අවවාද කරයි)

        අක්කොසති (පරුෂ වචනයෙන් බණී)

        පරිභාසති (පරිභව කරයි, බැණවදී)

 

ඇබෑසිය

 

(අ)     සිංහලයට නඟන්න.

        1. කුටුම්බිකස්ස රොගො වෙජ්ජස්ස අගදෙන වූපසම්මති.

        2. ආචරියො අන්තෙවාසිකානං විවාදං වූපසමෙති.

        3. පරිබ්බාජකස්ස අන්තෙවාසිකා බුද්ධස්ස වණ්ණං භාසන්ති.

        4. පථිකස්ස පුත්තො වානරම්හා භායති.

        5. සූදස්ස මිත්තා ආගන්තුකානං ආහාරං පටියාදෙන්ති.

        6. බුද්ධස්ස ඔවාදෙන භූපස්ස කොපො වූපසම්මති.

        7. කුටුම්බිකස්ස දාසා රුක්ඛස්ස හෙට්ඨාභාගං සොධෙන්ති.

        8. චොරා අමච්චස්ස රථං හරන්ති.

        9. බාලකා වජම්භා සොනෙ පලාපෙන්ති.

        10. රාජපුරිසො ඛග්ගෙන චොරස්ස හත්‍ථෙ කනත්ති.

(ආ)    පාලියට නඟන්න

        1. පැවිද්දා කෙළෙඹියා ගේ සොහොයුරාට අවවාද කරයි.

        2. තෙරුන් වහන්සේගේ අවවාදයෙන් වැද්දා ප්‍රාණවධයෙන් වළකී.

        3. ඇදුරා ගේ දරුවෝ තෙරුන් වහන්සේ ගේ වෙහෙරට යෙත්.

        4. ගැල්පදුවා ගේ පුත්තු අමුත්තනට බණිත්.

        5. ගොවියා ගේ පුතා වඩුවා ගේ පුතුනට ඊර්‍ෂ්‍යා කරයි.

        6. රජු ගේ සොහොයුරා ඇමැතියා ගේ පුතුට කිපෙයි.

        7. සොරු උමඟින් ඇමැත්තා ගේ ගෙට වදිත්. (ඇතුල් වෙත්).

        8. සොරු කෙළෙඹියා ගේ ගෙයින් පලායෙත්.

        9. ඇමැත්තා ගේ සේවකයෝ අමුත්තනට නවාතැන් පිළියෙල

           කරත්.

        10. සොරාගේ පහරින් රාජපුරුෂයා ගේ අතෙන් කඩුව වැටෙයි.

 


9                                      සත්තමීවිභත්ත්‍යන්ත පද

 

16. ආධාරවාචක පද සත්තමීවිභත්ත්‍යන්ත ව සිටී. (ප්‍රාරම්භයේ හත්වැනි  පාඩම බලා සිතට ගන්න.)

 

ඒකවචන              පුරිසෙ, පුරිසම්හි, පුරිසස්මි (පුරුෂයා කෙරෙහි)

බහුවචන               පුරිසෙසු (පුරුෂයන් කෙරෙහි)

ඒකවචන              හත්‍ථෙ, හත්‍ථම්හි, හත්‍ථස්මිං (අතෙහි)

බහුවචන               හත්‍ථෙසු (අත්හි, අත්වල)

 

        පුරිසො මඤ්චෙ සයති (පුරුෂයා ඇඳෙහි සැතපෙයි)

        පුරිසා මඤ්චෙසු සයන්ති (පුරුෂයෝ ඇඳන්හි සැතපෙත්)

කුටුම්බිකො ථෙරෙ පසීදති (කෙළෙඹි තෙම තෙරහු කෙරෙහි පහදී)

කුටුම්බිකො ථෙරෙසු පසීදන්ති (කෙළෙඹියෝ තෙරුන් කෙරෙහි පහදිත්)

පුරිසො සායණ්හෙ නික්ඛමති (පුරුෂයා සවස් වේලේ නික්මෙයි.)

 

ශබ්ද මාලාව

        ප්‍ර‍කෘතිය                පඨමාවිභත්ත්‍යන්ත (ඒකවචන)

        අනාථපිණ්ඩික         අනාථපිණ්ඩිකො (අනේපිඬු සිටු තෙම)

        ආරාම                  ආරාමො (අරම, වත්ත)

        සන්නිපාත             සන්නිපාතො (රැස්වීම)

        ගහට්ඨ                 ගහට්ඨො (ගිහියා)

        ගුණ                    ගුණො (ගුණය)

        කුලාවක               කුලාවකො (කැදැල්ල)

        නාග                   නාගො (නයා)

        වම්මික                 වම්මිකො (සුඹස)

        සංගාම                 සඞ්ගාමො (රණබිම)

        සපත්ත                සපත්තො (සතුරා)

        ධම්ම                   ධම්මො (දහම්, බණ)

        ඡණ                    ඡණො (සැණකෙළිය)

        කලහ                  කලහො (කලහය)


ක්‍රියා පද

විහරති (වෙසෙයි)                    නහායති (නායි)

වත්තති (පවතී)                      පසිදති (පැහැදේ)

කරොති (කරයි, තනයි)              උග්ගණ්හාති, සික්ඛති (උගනී)

සුණාති (අසයි)                       උත්තසති (බිය ගනී, තැති ගනී)

නිලීයති (සැඟවෙයි)                  සන්නිපතති (රැස් වෙයි)

පලායති (පලායෙයි)                  පලාපෙති (පලවා හරී)

හොති, භවති (වෙයි)                 නිමුජ්ජති (ගිලෙයි)

 

ඇබෑසිය

 

(අ)     සිංහලයට නඟන්න.

        1. බුද්ධො අනාථපිණ්ඩිකස්ස ආරාමෙ විහරති.

        2. කුටුම්බිකස්ස මිත්තා කාසාරෙ නහායන්ති.

        3. විහාරෙ පබ්බජිතානං සන්නිපාතො වත්තති.

        4. ථෙරානං අන්තෙවාසිකා ගාමෙ පිණ්ඩාය විචරන්ති.

        5. පාසාදස්ස හෙට්ඨාභාගෙ සෙවකානං විවාදො වත්තති.

        6. ගහට්ඨා පබ්බජිතානං ගුණෙසු පසීදන්ති.

        7. සකුණා රුක්ඛෙසු කුලාවකෙ කරොන්ති.

        8. නාගො වම්මිකම්හි වසති.

        9. ගජා පබ්බජිතෙ විචරන්ති.

        10. භූපස්ස යොධා සංගාමෙ සපත්තෙ පහරන්ති.

 

(ආ)    පාලියට නඟන්න

        1. ළමෝ පාසැලෙහි දහම් උගනිත්.

        2. උපාසකයෝ විහාරයෙහි බණ අසත්.

        3. පිරිවැජියා ගේ අතැවැස්සෝ බුදුරජු ගේ දහමෙහි පහදිත්.

        4. ගමෙහි සැණකෙළියෙක් පවතී.

        5. මිනිස්සු රෝගයට බිය වෙත් (රෝගයෙන් බිය ගනිත්).

        6. ගසෙහි වඳුරා සැඟෙවෙයි.

        7. පැවිද්දෝ වෙහෙරෙහි රැස්වෙත්.

        8. සතුරෝ රණබිමෙන් පලායෙත්.

        9. මාර්‍ගයේ මඟීන් ගේ කලහයෙක් වෙයි.

        10. පුරුෂයා විලෙහි ගිලෙයි.


10                                        ආලපනවිභත්ත්‍යන්ත

 

17. කෙනකු ඇමැතීමෙහි ආලපනාර්‍ථයෙහි පඨමාවිභත්තික පද යෙදේ. “ආලපනෙ පඨමා” (ආලපන අරුත්හි පඨමා) නමින් මෙය හැඳින්වේ. (ප්‍රාරම්භයේ අටවැනි පාඩම කියවන්න.)

 

        ඒකවචන      (භො) පුරිස (භවත් පුරුෂය)

        බහුවචන       (භවන්තො) පුරිසා (භවත් පුරුෂයිනි)

        ඒකවචන      (හෙ) පුරිස (එම්බා පුරුෂය)

        බහුවචන       (හෙ) පුරිසා (එම්බා පුරුෂයිනි)

 

ප්‍ර‍ශ්න ඇසීම

        ප්‍ර‍ශ්නයක් ඇසීමෙහිදී ක්‍රියාවට මුලින් හෝ අගින් “කිං” යන්න යෙදේ. “කවර හෙයින්, කුමට” යන අර්‍ථයන්හි ද “කිං” යන්න යෙදේ.

 

        කිං පුරිසො ගච්ඡති ?

        පුරිසො කිං ගච්ඡති ?

        පුරිසො ගච්ඡති කිං ?

        (පුරුෂයා යෙයි ද, පුරුෂයා කවරහෙයින් යෙයි ද?)

 

        “අපි, අපි නු” යන නිපාතයෝ ද ප්‍ර‍ශ්න ඇසීමෙහි ක්‍රියාවට මුලින් යෙදෙත්.

 

        අපි පුරිසො ගච්ඡති ?

        අපි නු පුරිසො ගච්ඡති ?

        (පුරුෂයා යෙයි ද?)

 

ඇබෑසිය

 

(අ)     සිංහලයට නඟන්න.

        1. කිං ථෙරො විහාරෙ වසති ?

        2. භො පුත්ත, අපි නු සිස්සා විජ්ජාලයම්හා නික්ඛමන්ති ?

        3. හෙ පුරිස, කිං චොරා කුටුම්බිකස්ස සෙවකෙ පහරන්ති ?

        4. හෙ පුරිසා, අපි ගාමෙ මනුස්සානං කලහො වත්තති ?


5.     අපි නු සංගාමෙ භූපස්ස කුමාරා සපත්තෙ ජිනන්ති ?

6.    භවන්තො උපාසකා, කිං පබ්බජිතා විහාරම්හා නික්ඛමන්ති ?

7.    භො කුමාර, අපි නු රාජපුරිසො කුටුම්බිකං ගෙහා නික්කඩ්ඪති ?

8.     හෙ උපාසක, අපි නු විහාරෙ ථෙරො ධම්මං දෙසෙති ?

9.    භවන්තො පුත්තා, කිං ආචරියා විජ්ජාලයං න ආගච්ඡන්ති ?

10.   භො පුරිස, කිං විහාරෙ පබ්බජිතානං සන්නිපාතො හොති ?

 

(ආ) පාලියට නඟන්න.

        1. දරුවනි, වෙහෙරෙහි උපාසකයෝ බණ අසත් ද?

        2. භවත් පුරුෂය, මිනිස්සු ගමෙන් සොරුන් පලවාහරිත් ද?

        3. රාජපුරුෂයිනි, රණබිමෙහි සතුරෝ රජුගේ යෝධයන් පෙළෙත්

           ද?

        4. මෙහෙකරුව, ගසෙන් මිහිනා වැටෙයි ද?

        5. දරුව, සහෝදරයා විලෙහි නායි ද?

        6. භවත් රාජපුරුෂයිනි, ගමෙහි මිනිසුන්ගේ රෝගයෝ සංසිඳෙත්

           ද?

        7. භවත් දාසය, කෙළෙඹියා ගෙහි වෙසේ ද?

        8. හෙම්බා සේවකය, රජ ඇමැතියාට කිපෙයි ද?

        9. හෙම්බා වඩුව, ගස වැටෙයි ද?


11                                                නාම වරනැගීම

 

විභක්ති පිළිවෙළ අනුව නාමයෙක පදමාලාව කීම නාම වරනැඟීම නමි.

දැන් මෙතෙක් දුර ඉගෙන ගත් පරිදි පුරිස - හත්‍ථ යන ශබ්දයන් ගේ වර නැඟීම දක්වනු ලැබේ.

 

පුරිස

                    ඒකවචන                  බහුවචන

පඨමා විභත්ති     පුරිසො                    පුරිසා

දුතියා විභත්ති      පුරිසං                      පුරිසෙ

තතියා විභත්ති     පුරිසෙන                   පුරිසෙභි, පුරිසෙහි

චතුත්‍ථි විභත්ති     පුරිසාය, පුරිසස්ස          පුරිසානං

පඤ්චමී විභත්ති   පුරිසා,පුරිසම්හා,පුරිසස්මා පුරිසෙභි, පුරිසෙහි

ඡට්ඨි විභත්ති      පුරිසස්ස                   පුරිසානං

සත්තමී විභත්ති    පුරිසෙ, පුරිසම්හි, පුරිසස්මිං පුරිසෙසු

ආලපන විභත්ති   (හෙ) පුරිස, පුරිසා          (භවන්තො) පුරිසා

 

අර්‍ථ

ප්‍ර‍.වි.            පුරුෂයා                        පුරුෂයෝ     

ද්වි.වි.          පුරුෂයා                        පුරුෂයන්

තෘ.වි.          පුරුෂයා කරණකොට          පුරුෂයන් කරණකොට

ච.වි.           පුරුෂයාට, පුරුෂයා පිණිස     පුරුෂයනට,පුරුෂයන්පිණිස

ප.වි.            පුරුෂයා ගෙන්                 පුරුෂයන් ගෙන්

ෂ.වි.            පුරුෂයා ගේ                   පුරුෂයන් ගේ

ස.වි.           පුරුෂයා කෙරෙහි              පුරුෂයන් කෙරෙහි

ආ.වි.           පින්වත් පුරුෂය                පින්වත් පුරුෂයෙනි

 

18. පුරිසෙන, පුරිසෙභි, පුරිසෙහි යන තතියා විභත්තික රූප අනුක්ත කර්‍තෘ හැඟවීමෙහි ද යෙදේ. එවිට ඒවායේ අර්‍ථ මෙසේ යි: පුරිසෙන (පුරුෂයා විසින්), පුරිසෙභි, පුරිසෙහි (පුරුෂයන් විසින්) මේවා එක්කොට වාක්‍ය හැදීම දැන් ම නො ඉගැන්වෙයි. එය පසුව එයට සුදුසු තැනදී ඉගැන්වේ. දැන් වාක්‍යයෙහි යෙදෙනුයේ කරණවාචක තතියාවිභත්තික පද පමණ ය.

 


හත්‍ථ

                        ඒකවචන                බහුවචන

පඨමා විභත්ති         හත්‍ථො                   හත්‍ථා

දුතියා විභත්ති          හත්‍ථං                    හත්‍ථෙ

තතියා විභත්ති         හත්‍ථෙන                  හත්‍ථෙභි, හත්‍ථෙහි

චතුත්‍ථි විභත්ති         හත්‍ථාය, හත්‍ථස්ස         හත්‍ථානං

පඤ්චමී විභත්ති       හත්‍ථා,හත්‍ථම්හා,හත්‍ථස්මා හත්‍ථෙභි, හත්‍ථෙහි

ඡට්ඨි විභත්ති          හත්‍ථස්ස                  හත්‍ථානං

සත්තමී විභත්ති        හත්‍ථෙ,හත්‍ථම්හි,හත්‍ථස්මිං හත්‍ථෙසු

ආලපන විභත්ති       හෙ හත්‍ථ                 හෙ හත්‍ථා

 

අර්‍ථ

ප්‍ර‍.වි.                    අත                      අත්

ද්වි.වි.                  අත                      අත්

තෘ.වි.                  අතින්                    අත්වලින්

ච.වි.                   අතට, අත පිණිස        අත්තට, අත් පිණිස

ප.වි.                    අතෙන්, අත කෙරෙන්   අත්වලින්, අත්කෙරෙන්

ෂ.වි.                    අතේ (අතට අයත්)       අත්වල (අත්තට අයත්)

ස.වි.                   අතේ, අතෙහි            අත්හි, අත්වල

ආ.වි.                   එම්බා අත!               එම්බා අත්නි!

 

19.     සහ, සද්ධිං (හා, සහ, සමග, කැටුව). මේ නිපාත පද තතියා විභත්ත්‍යන්ත පද සමග යෙදේ.

 

        පුත්තෙන සහ, පුත්තෙන සද්ධිං.

        (පුතා හා, පුතා සහ, පුතා සමග, පුතා කැටුව, පුතා එක්ක.)

 

        පුත්තෙහි සහ, පුත්තෙභි සද්ධිං.

        (පුතුන් හා පුතුන් සහ, පුතුන් සමග, පුතුන් කැටුව, පුතුන් එක්ක.)

 

        විනා. (නැති ව, වෙන් ව, තොර ව.)

 

20.     විනා යනු නිපාත පදයෙකි. එය හා දුතියා විභත්‍යන්ත, තතියා විභත්‍යන්ත, පංචමී විභත්‍යන්ත පද යෙදේ. විනා ධම්මං, විනා ධම්මෙන, විනා ධම්මා = ධර්‍මය හැර, ධර්‍මයෙන් වෙන් ව, ධර්‍මයෙන් තොර වැ, ධර්‍මය නැති වැ).

ආඛ්‍යාතික ක්‍රියා

වත්තමානා විභත්ති

(වර්‍තමානකාලික ක්‍රියා)

                        ඒකවචන              බහුවචන

පඨම පුරිස             සො ධාවති            තෙ ධාවන්ති

                        (හේ දුවයි)             (ඔහු දුවත්)

මජ්ඣිම පුරිස          ත්‍වං ධාවසි             තුම්හෙ ධාවථ

                        (තෝ දුවහි)            (තෙපි දුවහු)

උත්තම පුරිස          අහං ධාවාමි            මයං ධාවාම

                        (මම් දුවමි)             (අපි දුවමු)

 

21. මෙහි ධාවති යන ක්‍රියාපදයේ ධාව යන්න ඉවත් කරන්න. එවිට ති යන්න ඉතිරි වේ. මෙය විභත්ති පච්චය (විභක්ති ප්‍ර‍ත්‍යය) නම් වේ. ඒ ක්‍රියාපද හයේ ම අගට ඇති විභත්ති පච්චයයන් (විභක්ති ප්‍ර‍ත්‍යයයන්) දැන් වෙන් කැරැ ගනිමු.

                        ඒකවචන              බහුවචන

පඨම පුරිස             ති                      (අ)න්ති

මජ්ඣිම පුරිස          සි                      ථ

උත්තම පුරිස          මි                      ම

 

22. “ධාවාමි, ධාවාම” යන දෙතැන මි, ම යන ප්‍ර‍ත්‍යය දෙකට මුලින් සිටි ධාව යන්නෙහි අග ව-යන්න වා-යන්න වී තිබේ. අගට අ-යන්නක් ඇසෙන හැම ක්‍රියා අංගයකට ම (මි - ම යන ප්‍ර‍ත්‍යයයන් පර ව සිටි කල්හි) ඒ අයන්න දීර්‍ඝ වේ. “ගච්ඡාමි, ගච්ඡාම, හරාමි, හරාම” යනාදි වශයෙනි.

 

23. ගච්ඡ යනු ක්‍රියා අංගයෙකි. එයට උඩ සඳහන් ප්‍ර‍ත්‍යයයන් එක් කොට ක්‍රියාපද සාදමු. තේරුම් ද ලියමු.

                        ඒකවචන              බහුවචන

පඨම පුරිස             ගච්ඡති                 ගච්ඡන්ති

                        (යෙයි)                 (යෙත්)

මජ්ඣිම පුරිස          ගච්ඡසි                 ගච්ඡථ

                        (යෙහි)                 (යෙවු)

උත්තම පුරිස          ගච්ඡාමි                ගච්ඡාම

                        (යෙමි)                 (යෙමු)

        මේ ක්‍රියාපදවලට මුලින් සුදුසු පරිදි කර්‍තෘපද යොදන්න.

                        ඒකවචන              බහුවචන

පඨම පුරිස             සො ගච්ඡති           තෙ ගච්ඡන්ති

                        (හේ යෙයි)             (ඔහු යෙත්)

මජ්ඣිම පුරිස          ත්‍වං ගච්ඡසි            තුම්හෙ ගච්ඡථ

                        (තෝ යෙහි)            (තෙපි යෙවු)

උත්තම පුරිස          අහං ගච්ඡාමි           මයං ගච්ඡාම

                        (මම් යෙමි)             (අපි යෙමු)

 

        මෙහි පුරුෂ තුනට මේ ක්‍රියාපදත් ඒවායේ කර්‍තෘනාම පදත් බෙදී ඇති බව පෙනේ. මේ පුරුෂ තුන මෙයට පෙර ඔබ ඉගෙන ඇත. මේ පොතේ ප්‍රාරම්භ කොටසේ 11 වැනි පාඩම නැවත කියවන්න.

 

24. න (නො), න ගච්ඡති (නො යයි), න ගච්ඡාමි (නො යමි).

 

ඇබෑසිය

(අ)     මතු දැක්වෙන ක්‍රියාපදවල අංගයන් වෙන් කරන්න. ඉන්පසු ති අන්ති ආදි විභක්ති ප්‍ර‍ත්‍යයයන් එක්කොට පුරුෂ තුනට ම අයත් ක්‍රියාපද සම්පූර්‍ණ කොට තේරුම් සමග ලියන්න. තිට්ඨති, නිසීදති, සයති, උට්ඨහති, ආගච්ඡති, කීළති, පතති, වායති.

 

(අ) සිංහලයට නඟන්න.

        1. බාලකො මිත්තෙහි සද්ධිං ගෙණ්ඩුකෙන කීළති.

        2. සිස්සා ආචරියෙන විනා විජ්ජාලයම්හා න නික්ඛමන්ති.

        3. මයං දණ්ඩෙහි චොරෙ පහරාම.

        4. දාසො ඛන්‍ධෙන භාරං වහති.

        5. වෙජ්ජස්ස අගදෙහි බාලකස්ස රොගො වූපසම්මති.

        6. මයං රථෙන ගාමෙ විචරාම.

        7. කිං ත්‍වං ආගන්තුකස්ස ආහාරං න දෙසි ?

        8. කිං තුම්හෙ කුටුම්බිකානං දාරකෙ පහරථ ?

        9. මයං වාණිජම්හා කකචෙ කිණාම.

        10. තෙ තච්ඡකස්ස උසූයන්ති.

        11. කුටුම්බිකා සමණස්මිං පසීදන්ති.

        12. අහං පරිබ්බාජකෙසු න පසීදාමි.

 


(ඉ)     පාලියට නඟන්න.

 

1.     මම ආහාරයෙන් බල්ලා පෝෂිත කරමි.

2.    සිවලා ගොදුරු පිණිස ඒ ඒ තැන හැවිදී.

3.     ඇමැතියා ගේ පුතා ගොවියා ගේ දරුවනට ඊර්‍ෂ්‍යා කරයි.

4.    සොරා වෙළෙන්දා ගෙන් කියතක් මිලයට ගනී.

5.     අනාථපිණ්ඩික සිටුහු ගේ ආරාමයෙහි මහණහු වෙසෙත්.

6.    මම ආගන්තුකයනට නවාතැන් දෙමි.

7.    සත්පුරුෂයෝ බුදුරජු කෙරෙහි පහදිත්.

8.     තෙපි ශිෂ්‍යයනට තෑගි දෙවු ද?

9.    අපි අලෝභයෙන් ලෝභය දිනමු.

10.   ගමේ වෙළෙන්දෝ ආගන්තුකයනට ආහාර දෙත්.

11.   ගරඬියා දරණවැලින් සොරාගේ පය වෙළයි.

12.   අපි කියත්වලින් ගස ඉරමු.

 


12                                                  අම්හ, තුම්හ

 

විභත්ති            ඒක                        බහු

පඨමා              අහං (මම)                  මයං, අම්හෙ, නො (අපි)

දුතියා              මං, මමං (මා)              අම්හෙ, නො (අප)

තතියා             මයා, මෙ (මා විසින්       අම්හෙභි, අම්හෙහි (අප

                    මා කරණ කොට)          විසින්, අප කරණ කොට

චතුත්‍ථි             මම, මය්හං, මෙ (මට)      අම්හාකං, නො (අපට)

පඤ්චමී            මයා (මගෙන්)              අම්හෙභි,අම්හෙහි(අපගෙන්)

ඡට්ඨි               මම, මය්හං, මෙ (මගේ)    අම්හාකං, නො (අප ගේ)

සත්තමී            මයි (මා කෙරෙහි)          අම්හෙසු (අප කෙරෙහි)

 

තුම්හ

විභත්ති        ඒක                            බහු

පඨමා          ත්‍වං (තෝ, නුඹ)                තුම්හෙ, වො (තෙපි)

දුතියා          ත්‍වං, තං (තා, නුඹ)             තුම්හෙ, වො (තොප)

තතියා         ත්‍වයා, තයා, තෙ (තා විසින්    තුම්හෙභි, තුම්හෙහි, වො

                තා කරණකොට,               තොප විසින්,

                නුඹ කරණකොට)              තොප කරණකොට)

චතුත්‍ථි         තව, තුය්හං, තෙ               තුම්හාකං, වො (තොපට)

                (තට, නුඹට)

පඤ්චමී        ත්‍වයා, තයා                    තුම්හෙභි, තුම්හෙහි

                (තගෙන්, නුඹෙන්)             (තොප ගෙන්)

ඡට්ඨි           තව, තුය්හං, තෙ (තාගේ)      තුම්හාකං, වො(තොප ගේ)

සත්තමී        ත්‍වයි, තයි (තා කෙරෙහි)       තුම්හෙසු (තොප කෙරෙහි)

 

25.     තෙ, මෙ, වො, නො යන පද වාක්‍යයෙක මුලින් නො සිටී. පදයකට පසුව ම සිටී. ගාමො මෙ (මගේ ගම), ගාමො තෙ (තගේ ගම).


ධාව

භවිස්සන්තී විභත්ති

(අනාගතකාලික ක්‍රියා)

 

                        ඒකවචන              බහුවචන

පඨම පුරිස             සො ධාවිස්සති        තෙ ධාවිස්සන්ති

                        (හේ දුවන්නේය)       (ඔහු දුවන්නාහ)

මජ්ඣිම පුරිස          ත්‍වං ධාවිස්සසි         තුම්හෙ ධාවිස්සථ

                        (තො දුවන්නෙහි)      (තෙපි දුවන්නහු)

උත්තම පුරිස          අහං ධාවිස්සාමි        මයං ධාවිස්සාම

                        (මම් දුවන්නෙමි)       (අපි දුවන්නමු)

 

26. මෙහි අංගයෙන් විභක්ති ප්‍ර‍ත්‍යයයන් වෙන් කළ විට සිටිනුයේ මෙසේය:

                        ඒකවචන              බහුවචන

පඨම පුරිස             (ඉ) ස්සති              (ඉ) ස්සන්ති

මජ්ඣිම පුරිස          (ඉ) ස්සසි              (ඉ) ස්සථ

උත්තම පුරිස          (ඉ) ස්සාමි             (ඉ) ස්සාම

 

        මේවායේ මුලට තිබෙන ඉ-යන්න එකාරාන්ත අංගයනට පර ව නො ලැබෙයි.

 

දෙසෙ

                        ඒකවචන              බහුවචන

පඨම පුරිස             දෙසෙස්සති            දෙසෙස්සන්ති

මජ්ඣිම පුරිස          දෙසෙස්සසි            දෙසෙස්සථ

උත්තම පුරිස          දෙසෙස්සාමි           දෙසෙස්සාම

 

විශේෂ රූප :

        දස්සති (දෙන්නේය), ගමිස්සති (යන්නේය)

        සෙව, නි. (සෙට)

        පාතො, නි. (උදේ)

        ථොකං, නි. (ටිකක්).


ඇබෑසිය

 

(අ)     පහත දැක්වෙන ක්‍රියාවල අංග සොයා ඒවා භවිස්සන්තී විභත්තියෙහි වරනඟන්න. අර්‍ථ ද දෙන්න :

       

පහරති, කිණාති, නෙති, කරොති.

 

(ආ)    සිංහලයට නඟන්න.

        1. යොධො අස්සං ආරුහිස්සති.

        2. කුමාරා රථෙන නගරෙ විචරිස්සන්ති.

        3. මයං අනාථපිණ්ඩිකස්ස ආරාමං ගච්ඡිස්සාම.

        4. ත්‍වං තව ආචරියෙන විනා අනුරාධපුරං ගච්ඡිස්සසි කිං?

        5. මයං අම්හාකං පුත්තෙහි විනා විහාරං න ගමිස්සාම.

        6. තුම්හෙහි විනා අහං න ගච්ඡිස්සාමි.

        7. කිං චොරා ගොනෙ වො හරිස්සන්ති?

        8. කිං කුටුම්බිකො තුම්හාකං ආහාරං දස්සති.

        9. මයං ගෙහම්හා නික්ඛමිස්සාම.

        10. චොරා ගාමම්හා වො පලායිස්සන්ති.

        11. තෙ අම්හාකං පුත්තෙහි සද්ධිං භාතිකස්ස ගාමං ගමිස්සන්ති.

        12. ආචරියො වො සමණම්හි නො පසීදිස්සති.

(ඉ)     පාලියට නඟන්න.

1.      අපේ බල්ලා තො ගේ බළලා සමග සෙල්ලම් කරයි.

2.      තොප ගේ පුත්තු අපේ සොහොයුරන් සමග පන්දුවලින් (හෙට) සෙල්ලම් කරන්නාහ.

3.      හෙට අපි අපේ කියත්වලින් ගස ඉරන්නමු.

4.      හෙට උදේ අපි අපේ මිතුරන් සමග නැවෙන් මූදෙහි යන්නමු.

5.      කිමෙක් ද? මගේ බේත්වලින් තොපගේ ලෙඩවල් නො සංසිඳෙන්නාහු ද?

6.      බළලා නියවිල්න මීයා ඉරාලන්නේ ය.

7.      ඔබේ අවවාදයෙන් මගේ ක්‍රෝධය සංසිඳෙන්නේ ය.

8.      කිම, පිඹුරා දරණයෙන් ගොනා වෙළයි ද?

9.      තෙපි අප ගේ රසකැවිලිවලට නො කැමැති වන්නහු ද?

10.     මගේ ආචාර්‍ය්‍යා මට කිපෙන්නේ ද?

11.     සෙට තෙපි මගෙන් ගොනා මිලයට ගන්නහු ද?

12.     අපි තොප ගේ දරුවන් රැක ගන්නමු. (පෝෂිත කරන්නෙමු).

13                                            පූර්‍වක්‍රියා + තුමන්ත

 

27.     පූර්‍වක්‍රියා

        සො නහායිත්‍වා ගෙහං ආගච්ඡති (හේ නා ගෙට එයි)

සො ගෙහං ආගන්ත්‍වා මඤ්චෙ සයති (හේ ගෙට අවුත් ඇඳේ සැතපෙයි)

        සො ථොකං සයිත්‍වා මඤ්චා ඔරුහති (හේ ටිකක් සැතපී ඇඳෙන් 

        බසී).

 

        මේ වාක්‍යවල ආගච්ඡති, සයති, ඔරුහති යනු අවසාන ක්‍රියාපද යි. ඒවායින් ඇඟැවෙන ක්‍රියාවන් කරන්නට පූර්‍වයෙන් කළ ක්‍රියා අඟවන නහායිත්‍වා, ආගන්ත්‍වා, සයිත්‍වා යන පද පූර්‍වක්‍රියා පද නමි. (පූර්‍වක්‍රියා හැඳින ගන්නට තව දුරටත් මේ පොතේ ප්‍රාරම්භයේ 17 වැනි පාඩම කියවා සිතට ගන්න.)

 

        පාලි භාෂාවේ පූර්‍වක්‍රියා පද හැදෙන්නේ බොහෝ සෙයින් ත්‍වා-ප්‍ර‍ත්‍යය එක් වීමෙනි. එය එක් වන්නේ ධාතුවට හෝ ක්‍රියා අංගයට ය. එසේ වූ සමහර තැන ත්‍වා යන්නට මුලින් ඉ-යන්නෙක් ද එක් වේ. ධාතු ගැන පසුව උගන්වනු ලැබේ. දැනට ඉගෙන ගන්නා හැම ක්‍රියාවක් සමග ම එහි පූර්‍වක්‍රියා රූපයක් දෙනු ලැබේ.

 

28.     තුමන්ත

සො නහායිතුං කාසාරං ගච්ඡති (හේ නාන්නට විලට යයි)

        සො සයිතුං මඤ්චං ආරුහති (හේ නිදන්නට ඇඳට නඟී)

සො මඤ්චා ඔරුහිතුං න ඉච්ඡති (හේ ඇඳෙන් බසින්නට නොකැමැති යි).

 

මේ වාක්‍යවල නහායිතුං (නාන්නට), සයිතුං (නිදන්නට), ඔරුහිතුං (බසින්නට) යැ යි තුං-ප්‍ර‍ත්‍යයය එකතු ව හැදුණු පද දක්නා ලැබේ. යමක් කරන්නට, යමක් කරනු පිණිස යන අර්‍ථය දීම සඳහා මේ තුමන්ත පදයෝ යොදනු ලැබෙත්. මොවුන් හැදෙන්නේ ද ධාතුවට හෝ ක්‍රියාංගයට තුං-ප්‍ර‍ත්‍යයය එක් වීමෙනි. බොහෝ තැන තුං-ප්‍ර‍ත්‍යයයට මුලින් ඉ-කාරයෙක් එක්වේ. ක්‍රියා සමග තුමන්ත පද ද මත්තට දෙනු ලැබේ.


ක්‍රියාව                  පූර්‍වක්‍රියාව              තුමන්තපදය

ගච්ඡති (යයි)                   ගන්ත්‍වා (ගොස්)        ගන්තුං (යන්නට)

පටියාදෙති (පිළියෙල කරයි)   පටියාදෙත්‍වා           පටියාදෙතුං

නිසීදති (හිඳී)                   නිසීදිත්‍වා               නිසීදිතුං

භුඤ්ජති (වළඳයි)              භුඤ්ජිත්‍වා              භුඤ්ජිතුං

උග්ගණ්හාති (උගනී)           උග්ගණ්හිත්‍වා           උග්ගණ්හිතුං

උපසඞ්කමති (එළඹෙයි)        උපසඞ්කමිත්‍වා         උපසඞ්කමිතුං

ආහරති (ගෙනෙයි)             ආහරිත්‍වා               ආහරිතුං

වහති (උසුලාගෙන යයි)       වහිත්‍වා                 වහිතුං

පස්සති (දකී)                   දිස්වා, පස්සිත්‍වා        දට්ඨුං, පස්සිතුං

ධාරෙති (දරයි)                 ධාරෙත්‍වා               ධාරෙතුං

චරති (කරයි, පුරයි)            චරිත්‍වා                 චරිතුං

චරති (හැසිරෙයි, ඇවිදී)        චරිත්‍වා                 චරිතුං

තිට්ඨති (සිටී)                  ඨත්‍වා                   ඨාතුං

පලායති (පලා යයි)            පලායිත්‍වා              පලායිතුං

පලාපෙති (පලවාහරී)          පලාපෙත්‍වා             පලාපෙතුං

ගණ්හාති (ගනී)                ගණ්හිත්‍වා, ගහෙත්‍වා    ගණ්හිතුං, ගහෙතුං

වූපසමෙති (සංසිඳුවයි)         වූපසමෙත්‍වා            වූපසමෙතුං

සුණාති (අසයි)                 සුණිත්‍වා, සුත්‍වා         සුණිතුං, සොතුං

භායති (බිය ගනී)              භායිත්‍වා                භායිතුං

පතති (වැටෙයි)                පතිත්‍වා                 පතිතුං

අනුබන්‍ධති (ලුහුබඳී)            අනුබන්‍ධිත්‍වා            අනුබන්‍ධිතුං

මුඤ්චති (මුදයි)                මුඤ්චිත්‍වා              මුඤ්චිතුං

මුච්චති (මිදෙයි)                මුච්චිත්‍වා               මුච්චිතුං

වායති (හමයි)                  වායිත්‍වා                වායිතුං

පරාජෙති (පරදවයි)            පරාජෙත්‍වා             පරාජෙතුං

නික්ඛමති (නික්මෙයි)          නික්ඛමිත්‍වා            නික්ඛමිතුං

නීහරති (බැහැර කරයි)         නීහරිත්‍වා               නීහරිතුං

 

ශබ්ද මාලාව

ප්‍ර‍කෘතිය                        පඨමා විභක්ති ඒකවචනය

ආගන්තුක                      ආගන්තුකො (අමුත්තා)

මඤ්ච, මංච                   මඤ්චො, මංචො (ඇඳ)

ආචරිය                         ආචරියො (ඇදුරා)

වණ්ණ                         වණ්ණො (පැහැය, ගුණය)


පඤ්ජර                        පඤ්ජරො (මැදිරිය)

ජණ                            ජණො (සැණ කෙළිය, උත්සවය)

භාර                            භාරො (බර)

ලගුළ                           ලගුළො (පොල්ල)

ව්‍යාධ                          ව්‍යාධො (වැද්දා)

වාත                           වාතො (සුළඟ)

පාණවධ                       පාණවධො (සතුන් මැරීම)

යොධ                          යොධො (සෙබළා, යුද්ධ භටයා)

සිලුත්ත                        සිලුත්තො (ගරඬියා)

 

ක්‍රියා

පච්චාගච්ඡති (පෙරළා එයි, ආපසු එයි)

සක්කොති (හැකිවෙයි)

සක්ඛිස්සති (හැකි වන්නේ ය)

රුච්චති (රිසියෙයි, ප්‍රිය වෙයි)

උස්සහති (වෑයම් කරයි)

වායති (හමයි)

පතති (වැටෙයි)

පාතෙති (වට්ටයි, හෙලයි)

මීයති (මැරෙයි)

 

නිපාත

පාතො’ව (පාතො එව), උදාසන ම

අජ්ජ (අද)

සූවෙ (හෙට)

පරසුවෙ (අනිද්දා)

 

ඇබෑසිය

(අ)     සිංහලයට නඟන්න.

1.     පුරිසො ගාමං ගන්ත්‍වා කුක්කුරං ආනෙති.

2.     අහං ආහාරං පටියාදෙතුං ගෙහං පවිසාමි.

3.     මම පුත්තා මිත්තෙහි සද්ධිං ගන්ත්‍වා ආගන්තුකානං නිවාසං පටියාදෙස්සන්ති.

4.     බාලකො ආචරියෙන සද්ධිං මංචෙ නිසීදිත්‍වා භුඤ්ජිතුං න ඉච්ඡති.

5.     මම භාතිකො අජ්ජ ඡණං පස්සිතුං මයා සද්ධිං ගාමා නික්ඛමිස්සති.

 

6.      මයං අජ්ජ පාතො එව පාඨාලයං ගන්ත්‍වා ආචරියම්හා ධම්මං

උග්ගණ්හිත්‍වා ගෙහං පච්චාගච්ඡිස්සාම.

7.      ස්වෙ තුම්හෙ වෙජ්ජං උපසඞ්කමිත්‍වා අගදං ආහරිතුං සක්ඛිස්සථ කිං?

8.      කිං දාසො භාරං වහිතුං සක්කොති?

9.      කුටුම්බිකො වජස්ස පුරතො චොරං දිස්වා ඛග්ගං හත්‍ථෙ ධාරෙත්‍වා ගෙහා නික්ඛමති.

10.     බුද්ධස්ස ඔවාදො ඨත්‍වා ධම්මං චරිත්‍වා සත්තා සංසාරම්හා මුච්චිස්සන්ති.

11.     දාසා චොරං පලාපෙතුං ලගුළෙ ගහෙත්‍වා ගෙහම්හා නික්ඛමන්ති.

12.     ථෙරස්ස ඔවාදො ඨත්‍වා ව්‍යාධො පාණවධා විරමිස්සති.

 

(ආ)    පාලියට නඟන්න.

1.      වෙදා කෙළෙඹියා ගේ රෝගය සංසිඳුවන්නට නො හැකි වෙයි.

2.      පිරිවැජියා බුදුරජු ගේ ගුණ අසන්නට නො රිසියෙයි.

3.      සොරු යෝධයන් ගෙන් බිය ගෙන පලායෙත්.

4.      වඳුරා ගසින් වැටී මියයයි.

5.      දාසයා සොරු ලුහුබැඳ අල්ලා ගනී.

6.      මීයා ගරඬියා ගෙන් මිදෙන්නට නො හැකි වන්නේ ය.

7.      සුළඟ හමා ගස් හෙළන්නේ ය.

8.      තෙපි ක්‍රෝධයෙන් ක්‍රෝධය පරදවන්නට නො හැකි වන්නහු.

9.      සෙට කෙළෙඹි තෙම අපට ආහාර දෙන්නේ ය.

10.     උපාසකවරු බණ අසන්නට මිතුරන් කැටුව අද සවස විහාරයට යන්නාහ.

11.     ගිරවා මැදිරියෙන් නික්මෙන්නට උත්සාහ කෙරෙයි.

12.     මම් ඔහු ගෙයින් බැහැර කරන්නට නො හැක්කෙමි.

 


14                                        නපුංසකලිංගික ශබ්ද

 

මෙ තෙක් ඔබ ඉගෙන ගත්තේ පුංලිංගික ශබ්ද යි. දැන් නපුංසක ලිංගික ශබ්ද ද ඉගැන්වෙයි.

 

චිත්ත (සිත)

විභත්ති        ඒකවචන               බහුවචන

පඨම           චිත්තං (සිත)            චිත්තා, චිත්තානි (සිත්)

ආලපන        (හෙ)චිත්ත(එම්බා සිත)  (හෙ)චිත්තා,චිත්තානි(එම්බාසිත්හි)

දුතියා          චිත්තං (සිත)            චිත්තෙ, චිත්තානි (සිත්)

 

        ඉතිරි සියලු විභක්තීන්හි “පුරිස” ශබ්දය මෙන් වර නැඟේ.

 

පඤ්චමීවිභත්ති

(ආසි කිරිය, විදි කිරිය)

 

ගම් (ගච්ඡ)

                ඒකවචන                      බහුවචන

පඨම පුරිස     සො ගච්ඡතු                   තෙ ගච්ඡන්තු

                (හේ යේ වා)                   (ඔහු යෙත් වා)

මජ්ඣිම පුරිස  ත්‍වං ගච්ඡ, ගච්ඡාහි             තුම්හෙ ගච්ඡථ

                (තෝ යෙහි වා, තෝ යව)      (තෙපි යෙහුවා,තෙපි යවු) උත්තම පුරිස  අහං ගච්ඡාමි                   මයං ගච්ඡාම

                (මම් යෙම් වා)                 (අපි යමෝ වා)

 

ජි (ජිනා)

                ඒකවචන                      බහුවචන

පඨම පුරිස     සො ජිනාතු                    තෙ ජිනන්තු

                (හේ දිනා වා)                  (ඔහු දිනත් වා)

මජ්ඣිම පුරිස  ත්‍වං ජිනාහි                     තුම්හෙ ජිනාථ

                (තෝ දිනව, දිනහි වා)          (තෙපි දිනවු, දිනහු වා)

උත්තම පුරිස  අහං ජිනාමි                    මයං ජිනාම

                (මම් දිනම් වා)                 (අපි දිනමෝ වා)


දිස් (දෙසෙ)

                ඒකවචන                      බහුවචන

පඨම පුරිස     සො දෙසෙතු                  තෙ දෙසෙන්තු

                (හේ දෙසා වා)                 (ඔහු දෙසත් වා)

මජ්ඣිම පුරිස  ත්‍වං දෙසෙහි                   තුම්හෙ දෙසෙථ

                (තෝ දෙසව, දෙසහි වා)       (තෙපි දෙසවු,දෙසහු වා)

උත්තම පුරිස  අහං දෙසෙමි                  මයං දෙසෙම

                (මම් දෙසම් වා)                (අපි දෙසමෝ වා)

 

කර් (කරො)

                ඒකවචන                      බහුවචන

පඨම පුරිස     සො කරොතු                  තෙ කරොන්තු

                (හේ කෙරේ වා)                (ඔහු කෙරෙත් වා)

මජ්ඣිම පුරිස  ත්‍වං කරොහි                   තුම්හෙ කරොථ

                (තෝ කෙරෙහි වා, කරව)      (තෙපි කරහු වා, කරවු)

උත්තම පුරිස  අහං කරොමි                   මයං කරොම

                (මම් කෙරෙම් වා)              (අපි කරමෝ වා)

 

සන්‍ධි

29. එක් වර්‍ගයේ ස්වර දෙකක් එක් ව ඒ වර්‍ගයේ ම දීර්‍ඝ ස්වරය බවට පැමිණේ.

                වසති ඉති = වසතීති.

        බැඳි අකුරු පර කල්හි මෙය නො වේ. පූර්‍ව ස්වරය ලොප් වේ.

                ලොක අග්ගො = ලොක් අ + අග්ගො

                = ලොක්අග්ගො ලොකග්ගො.

 

30. ඇතැම් තැනෙක ස්වරයක් පර කලැ පූර්‍ව වූ ස්වරය මැකේ (ලොප් වේ). ඉතිරි හල් අකුර පර වූ ස්වරය සමග එකතු වේ.

        අජ්ජ එව = අජ්ජ්අ + එව = අජ්ජ් එව = අජ්ජෙව.

 

31. නිග්ගහීතය (බින්දුව)ට පර වූ ස්වරයක් සිටි කල සමහර තැනෙක ඒ බින්දුවට ම් යන්න වේ. එය පසු ව සිටිනා ස්වරය හා එකතු වේ.

        විහාරං ආගන්ත්‍වා = විහාරම් + ආගන්ත්‍වා = විහාරමාගන්ත්‍වා.


ශබ්ද මාලාව

චිත්තශබ්දය මෙන් වරනැගෙන නපුංසකලිංගික ශබ්ද.

        ඵල (ගෙඩි)                     මිත්ත (මිතුරු)         

        උද්‍යාන (උයන්)                පුප්ඵ (මල්)

        දුද්ධ (කිරි)                      ඛීර (කිරි)

        සීල (සිල්)                      අකුසල (අකුසල්)

        කුසල (කුසල්)                  මුඛ (මුහුණ, කට)

        භත්ත (බත්)                    පොත්‍ථක (පොත්)

        නෙත්ත (ඇස්)                 රූප (රූප)

        සොත (කන්)                   ඝාණ (නාස්)

        පාප (පව්)                      ගගනයාන (අහස්යතුරු)

        ඛෙත්ත (කුඹුරු)                බීජ (වීජ, ධාන්‍ය ඇට)

        අගාර (ගිහි ගේ)                සෙනාසන (සෙනසුන්)

        සුවණ්ණ (රන්)                 කුණ්ඩල (කුණ්ඩලාභරණ)

        අන්න (ආහාර)                 වත්‍ථ (වස්ත්‍ර‍

        පාන (බීම)                     තුසිතභවන (තුසී බවන)

 

පුංලිංගික ශබ්ද

        මිත්ත (මිතුරු)                  බිළාල (බළල්)

        ගන්‍ධ (ගඳ)                     ජම්බුදීප (දඹදිව්)

        පතොද (කෙවිටි)               ධම්ම (ගුණ දහම්)

        පබ්බජිත (පැවිදි)               පබ්බත (කඳු)

        අස්සම (අසපු, පන්සල්)        පච්චාමිත්ත, සපත්ත (සතුරු)

 

නිපාත

        පරසුවෙ (අනිද්දා)               අපි (ත්, ද)

        ඉතො (මෙයින්)                ඉහ, ඉධ (මෙහි)       

 

ක්‍රියාපද

        සුණාති (අසයි)                     ජායති (හටගනී)

        ඔචිනාති (රැස් කෙරෙයි)           දෙති (දෙයි),

                                            දත්‍වා (දී), දාතුං (දෙන්නට)

        සමාදියති(ගනී,සමාදන්කෙරෙයි)    පජහති (දුරැලයි)

        භාවෙති (වඩයි)                    ධොවති (දොවයි)

        උට්ඨාති (නැගීසිටී)                 භුංජති (වළඳයි)

        ධොවිත්‍වා (දෙවැ, සෝදා)           රමති (ඇලෙයි)

        භුත්‍වා, භුංජිත්‍වා (වළඳා)             ඝායති (ආඝ්‍රාණය කරයි)

        වපති (වපුරයි)                      චවිත්‍වා (ච්‍යුත වැ)

        චවති (චුත වෙයි)                  පාතෙති (හෙලයි, කඩාදමයි)

        තුදති (අනී)                        අලංකරිත්‍වා (සරසා)

        අලංකරොති (සරසයි)              පූජෙත්‍වා (පුදා)

        පූජෙති (පුදයි)                      වසති (වෙසෙයි)

        පත්‍ථෙති (පතයි)                    පූරෙතුං (පුරන්නට)

        වසිත්‍වා (වැස)                      පටිජග්ගති (සකස් කරයි)

        සක්කොති (හැකි වෙයි)            තාළෙති (තළයි)

        කොට්ටෙති (කපයි)                කරොති (තනයි)

        දිස්වා (දැක)                        කත්‍වා (තනා)

 

ඇබෑසිය

(අ)     ඵල කුසුම ශබ්ද සියලු විභක්තීන්හි වර නඟන්න.

 

(ආ)    වදති (කියයි). මෙහි අංගය සොයන්න. වත්තමානා විභත්ති, භවිස්සන්තීවිභත්ති, පංචමීවිභත්ති යන ආඛ්‍යාත විභක්ති තුනෙහි වර නඟන්න. අර්‍ථ ද ලියන්න.

 

(ඉ)     සිංහලයට නඟන්න.

1.      අජ්ජ උපාසකා විහාරමාගන්ත්‍වා ධම්මං සුණන්තු.

2.      ඉදානි රුක්ඛෙසු ඵලානි ජායන්ති.

3.      මම පුත්තො මිත්තෙන සද්ධිං උය්‍යානං ගන්ත්‍වා පුප්ඵානි ඔචිනිත්‍වා ඉධාහරතු.

4.      හෙ දාරක, කිං ත්‍වං තව කලන්‍දකස්ස දුද්ධං න දෙසි?

5.      මම බිළාලො ඛීරස්ස පිහයති.

6.      හෙ මිත්ත, අජ්ජෙව සීලානි සමාදියාහි, අකුසලං පජහිත්‍වා කුසලං භාවෙහි.

7.      භාතික, ආසු උට්ඨාහි, මුඛං ධොවිත්‍වා භත්තං භුත්‍වා පොත්‍ථකානි ගහෙත්‍වා විජ්ජාලයං ගච්ඡ.

8.      මයං නෙතෙත්හි රූපානි පස්සාම, සොතෙහි සද්දෙ සුණොම, ඝාණෙන ගන්‍ධෙ ඝායාම.

9.      අසප්පුරිසානං චිත්තානි පාපෙ රමන්ති.

10.     මයං සුවෙ ගගනයානෙන ජම්බුදීපං ගච්ඡිස්සාම.


(ඊ)     පාලියට නඟන්න.

 

1.      තෙපි සෙට උදේ ම අවුත් මගේ කුඹුරේ වී වපුරවු.

2.      දරුව, තගේ කෙවිටෙන් ඇන ගසේ ගෙඩි කඩා දමව.

3.      කෙළෙඹි තෙම රුක සරසා වැඳ පුදා පුතකු පතා ගෙට එයි.

4.      “ගිහිගෙයි වැස ගුණ දහම් පුරන්නට නො හැක්කෙමි, එහෙයින් පැවිදි වන්නෙමි”යි වෙළඳ තෙම කියයි.

5.      මිනිස්සු පැවිද්දන් දැක පැහැද සෙනසුන් සකස් කොට දෙත්.

6.      බමුණා රන් කපා තළා කුණ්ඩලාභරණ තනා පුතුට දෙයි.

7.      අනින්දා අපි යාචකයනට ආහාර ද වස්ත්‍ර‍ ද දෙන්නමු.

8.      සෙට තෙපිත් අපිත් කන්ද නැඟ තවුසා දක්නට අසපුවට යමෝ වා.

9.      සෙට හෝ අනිද්දා හෝ මියුවකු මිලදී ගෙනෙන්නමු.

10.     මේ ගෙයින් චුත ව තුසී බවනෙහි උපදිම් වා.

11.     අපි මෙහි ඇමැතියාට ගෙයක් කරමෝ වා.

12.     අපේ රජතුමා සතුරන් දිනා වා.


15                              ඉත්ථිලිංගික(ස්ත්‍රීලිංගික) ශබ්ද

කඤ්ඤා (කන්‍යා)

විභ්තති        ඒක                            බහු

පඨමා          කඤ්ඤා                        කඤ්ඤා, කඤ්ඤායො

                කන්‍යාව                        කන්‍යාවෝ

දුතියා          කඤ්ඤං                       කඤ්ඤා, කඤ්ඤායො

                කන්‍යාව                        කන්‍යාවන්

තතියා         කඤ්ඤාය                      කඤ්ඤාභි, කඤ්ඤාහි  

                කන්‍යාව කරණ කොට         කන්‍යාවන් කරණ කොට

චතුත්‍ථි         කඤ්ඤාය                      කඤ්ඤාණං

                කන්‍යාවට                      කන්‍යාවනට

පංචමී          කඤ්ඤාය                      කඤ්ඤාභි, කඤ්ඤාහි

                කන්‍යාව ගෙන්                 කන්‍යාවන් ගෙන්

ඡට්ඨි           කඤ්ඤාය                      කඤ්ඤාණං   

                කන්‍යාවගේ                    කන්‍යාවන්ගේ

සත්තමී        කඤ්ඤාය, කඤ්ඤායං          කඤ්ඤාසු

                කන්‍යාව කෙරෙහි              කන්‍යාවන් කෙරෙහි

ආලපන        (භොති) කඤ්ඤෙ             (භොතියො) කඤ්ඤායො

                පින්වත් කන්‍යාව               පින්වත් කන්‍යාවනි

 

ලතා (වැල)

විභත්ති        ඒක                            බහු

පඨමා          ලතා                           ලතා, ලතායො

                වැල                            වැල්

දුතියා          ලතං                           ලතා, ලතායො

                වැල                            වැල්

තතියා         ලතාය                         ලතාභි, ලතාහි

                වැලින්                         වැල්වලින්

චතුත්‍ථි         ලතාය                         ලතානං

                වැලට                          වැල්වලට

පංචමී          ලතාය                         ලතාභි, ලතාහි

                වැලෙන්, වැල කෙරෙන්        වැල් කෙරෙන්, වැල්වලින්

ඡට්ඨි           ලතාය                         ලතානං

                වැලේ, වැලට අයත්            වැල්වලැ, වැල්වලට අයත්

සත්තමී        ලතාය, ලතායං                ලතාසු

                වැලෙහි                        වැල්හි, වැල්වලැ

32. පංචමී විභත්තියේ අර්‍ථය දීමට නාමයට තො-ප්‍ර‍ත්‍යයය ද එක් කරනු ලැබේ. පුරිසතො (පුරුෂයා ගෙන්), ගාමතො (ගමෙන්). කඤ්ඤානො (කන්‍යාව ගෙන්).

 

උපසග්ග (උපසර්‍ග)

33. නාමයන් ගේ ද ක්‍රියාවන් ගේ ද මුලට යෙදෙන උපසර්‍ග නම් වූ පද කෙනෙක් ඇත. ඔහු විසි දෙනෙකි.

       

අති, අධි, අනු, අප, අපි, අභි, අව, ආ, උ, උප, දු, නි,

        නී, ප,  පති (පටි), පරා, පරි, වි, සං, සු.

 

මොවුන් එක් වීමෙන් ක්‍රියාවේ හෝ නාමයේ අර්‍ථය දැඩි වේ. වෙනස් වේ. නැතහොත් විරුද්ධාර්‍ථයෙන් ලැබේ.

 

හරති (ගෙන යයි)               අවහරති (සොරාගෙන යයි)

පහරති (පහරී, ගසයි)           විහරති (වෙසෙයි)

 

එක ම හරති යන ක්‍රියාවට මුලින් උපසර්‍ග යෙදීමෙන් වෙනස් අර්‍ථ ලැබෙන හැටි මෙයින් සිතට ගත යුතු.

 

පූර්‍වක්‍රියා

34. උපසර්‍ග මුලට ඇති කල්හි සමහර තැන ත්‍වා යන්න වෙනුවට ය-යන්න එක්ව පූර්‍වක්‍රියා පද සෑදෙයි.

ආගන්ත්‍වා (අවුත්) යන පූර්‍වක්‍රියාව හැදුනේ ආ+ගම්+ත්‍වා යන්නෙනි. එහි ගම් යනු ධාතුවයි (ක්‍රියාවේ මුලයි). ආ යනු උපසර්‍ගයයි. ත්‍වා යන්නට මුලින් සිටි ම් යන්න න් වී ඇත.

මෙහි ත්‍වා යන්න වෙනුවට ය-යන්න ද එක් වෙයි.

ආ + ගම් + ය.

ම්ය දෙකට ම්ම වේ.

එවිට ආගම්ම යැ යි සෑදේ.

ය-ප්‍ර‍ත්‍යය එක් වූ සමහර තැන එයට මුලින් ඉ-යන්නෙක් ද එක් වේ.

ආ + ගම් + ඉ + ය - ආගමිය.

ආගන්ත්‍වා, ආගම්ම, ආගමිය යන තුනේ ම අර්‍ථය “අවුත්” යනුයි. දැනට මේ පූර්‍වක්‍රියා පද පමණක් ඒ ඒ සුදුසු තැනදී දෙනු ලැබේ. මේවා සාදන හැටි පසුව ඉගැන්වේ.

ස්ත්‍රීලිඞ්ගික ශබ්ද

අස්සුධාරා - කඳුළු                     භරියා - භාර්‍ය්‍යාව

බාහා - අත                            පාරමිතා - පාරමිතාව

වීණා - වීණාව                         නාවා - නැව

ගඞ්ගා - ගඞ්ගා නම් නදිය             ගිඤ්ජකා - ගඩොළුව

සාලා - සාලාව                        වාලිකා -වැල්ල

නාසා - නාසය                        සාඛා - අත්ත

සෙනා - සේනාව                      ජිව්හා - දිව

සහායිකා - යෙහෙළිය                 මෙත්තා - මෛත්‍රිය

නිසා - රැය                            මාතිකා - ඇල

කුමාරිකා - කුමරිය                     ගීවා, ග්‍රීවාව, බෙල්ල

මාලා - මල්දම                         සඤ්ඣා - සැන්දෑව

කථා - කථාව                          ජටා - ජටාව

තණ්හා - තෘෂ්ණාව                          (ඉස මුදුනේ කෙස් ගුටිය)

මේවා කඤ්ඤා ශබ්දය මෙන් වරනැගෙත්.

 

පුංලිඞ්ගික ශබ්ද

ගිලාන - ගිලන්                        වෙජ්ජ - වෙද

පලගණ්ඩ - බදාමවඩු, මේසෙන්        ආවාට - වළ

රස - රස                              කුම්භකාර - කුඹල්

                                        දුම්මෙධ - මූඪ

 

නපුංසකලිංගික

මජ්ඣ - මැද                           නාම - නම්

ආපණ - කඩ (වෙළෙඳහල්)            පාටලිපුත්ත - පැළලුප් නුවර

කුද්දාල - උදැලු                          යුද්ධ - යුද

කිච්ච - කටයුතු                        ගීත - ගී

මූල - මුල්

ක්‍රියාපද

පග්ඝරති - වැගිරෙයි                   ඔලොකෙති - බලයි

තිකිච්ඡාපෙති - පිළියම් කරවයි        පග්ගණ්හාති - ඔසොවාගනී

වදති - කියයි                          පග්ගය්හ-ඔසොවාගෙන(ඉසැ බැඳගෙන)

කන්‍දති - හඬයි                         පුච්ඡති - විචාරයි

කිණාති - මිළයට ගනී                 පාපුනාති - පැමිණේ

ඔකිරති - ඉසී, විසුරුවයි               ආසිඤ්චති - වක්කරයි, (දිය) ඉසියි

සායති - හටගනී                       සොහති - හොබී

පාපෙති - පමුණුවයි                    පිලන්‍ධති - පලඳී

කථෙති - කියයි                        වාදෙති - වයයි

ගායති - ගයයි                         ඛනති - සාරාදමයි, කනී

 

ඇබෑසිය

(අ) වීණා - ජටා යන ශබ්ද වර නඟන්න.

(ආ) සිංහලයට නඟන්න.

1.      ථෙරස්ස නෙත්තෙහි අස්සුධාරායො පග්ඝරන්ති.

2.      බ්‍රාම්හණස්ස භරියා පුත්තං ඔලොකෙත්‍වා “බ්‍රාහ්මණ, පුත්තො තෙ ගිලානො හොති, වෙජ්ජං ආනෙත්‍වා තිකිච්ඡාපෙහී”ති වදති.

3.      “බ්‍රාම්හණ, කිං ත්‍වං වනස්ස මජ්ඣෙ බාහා පග්ගය්හ කන්‍දසී?” ති මානවකො පුච්ඡති.

4.      කුටුම්බිකො පුත්තස්ස “පාලො”ති නාමං කරොති.

5.      බොධිසත්තා ලොකං දුක්ඛතො මොචෙතුමෙව පාරමිතායො පූරෙන්ති.

6.      භාතිකො කඤ්ඤාය දාතුං ආපණතො වීණං කිණාති.

7.      භොතියො කඤ්ඤායො, මයං සුවෙ නාවාය ගඞ්ගං තරිත්‍වා පාටලීපුත්තං පාපුනිස්සාම.

8.      පලගණ්ඩො ගිඤ්ජකාහි පාකාරං ඛන්‍ධතු.

9.      භොති කඤ්ඤෙ, රුක්ඛස්ස මූලෙ වාලිකං ඔකිරාහි.

10.     ළුද්දකො ආවාරං ඛනිතුං කුද්දාලමාදාය භරියාය සද්ධිං ගෙහතො නික්ඛමති.

11.     ථෙරො නිසීදිත්‍වා’ව නාසාය තෙලං ආසිඤ්චති.

12.     වාතෙන රුක්ඛානං සාඛාහි පත්තානි ච ඵලානි ච පතන්ති.

 

(ඉ)     පාලියට නඟන්න

1.      රජ තෙම සේනාව කැටුව යුද පිණිස නුවරින් නික්මෙයි.

2.      අපි දිවෙන් රස විඳිමු.

3.      කන්‍යාව යෙහෙළියගෙන් වෙන් ව වසන්නට නො කැමැති වෙයි.

4.      දැන් කැලෑවල ගස්හි ද වැල්හි ද මල් ද ඵල ද හටගනිත්.

5.      පැවිද්දෝ මෛත්‍රියෙන් වෙන් ව නො හොබිත්.

6.      රෑ කුඹලා ගේ ශාලායෙහි මිනිස්සු නො සිටිත්.

7.      ගොවියනි, ගඟේ ජලය ඇලවලින් කුඹුරුවලට පමුණුවවු.

8.      කුමරියෝ ග්‍රීවාවන්හි මල්දම් පලඳිත් වා.

9.      සෙට සැන්දෑවෙහි අපි කථාවන් කියමෝ වා.

10.     පින්වත් කන්‍යාවනි, තෙපි වීණාවන් වයවු. සොහොයුර, ගී ගයව.

11.     මූඪය, තාගේ ජටායෙන් ප්‍රයෝජනකයෙක් නො වේ.

12.     තෘෂ්ණාව ගේ මුල සාරාදමවු.


16                                           විශේෂණ විශේෂණ

35. සුදු අශ්වයා. කෙබඳු අශ්වයෙක් ද? සුදු අශ්වයෙකි. කලු හෝ රතු හෝ වෙන පැහැති එකෙක් නොවැ සුදු පැහැ ඇති අශ්වයෙකැ යි මෙහි ඌ අන් පැහැ ඇති අසුන් ගෙන් වෙසෙසා (වෙන් කොට) දැක්වෙනුයේ සුදු යන පදයෙනි. එසේ වූ පද විශේෂණ නමි. එයින් වෙන් කරනු ලබන පදය විශේෂ්‍ය නමි.

 

(මෙහි ප්‍රාරම්භයේ 15 වැනි පාඩම නැවැතත් කියවා සිතට ගන්න.)

 

        විශේෂණ වන පදය විශේෂ්‍ය පදයට ලිඞ්ගයෙන් විභක්තියෙන් සංඛ්‍යාවෙන් යන තුනින් ම සමාන කොට තබනු. මෙබඳු විශේෂණ සමානාධිකරණ නම් වේ.

 

පුංලිඞ්ගයෙහි

පඨමා ඒකවචන.    සෙතො අස්සො          සුදු අශ්වයා

පඨමා බහුවචන.    සෙතා අස්සා             සුදු අශ්වයෝ

දුතියා ඒකවචන.    සෙතං අස්සං             සුදු අශ්වයා

දුතියා බහුවචන.    සෙතෙ අස්සෙ            සුදු අශ්වයන්

ඡට්ඨී ඒකවචන.     සෙතස්ස අස්සස්ස        සුදු අශ්වයා ගේ

ඡට්ඨී බහුවචන.     සෙතානං අස්සානං       සුදු අශ්වයන් ගේ

 

නපුංසකලිඞ්ගයෙහි

පඨමා ඒකවචන.    සෙතං කුසුමං             සුදු මල‍

පඨමා බහුවචන.    සෙතානි කුසුමානි        සුදු මල්

තතියා ඒකවචන.   සෙතෙන කුසුමෙන       සුදු මලින්

තතියා බහුවචන.    සෙතෙහි කුසුමෙහි        සුදු මල්වලින්

 

ස්ත්‍රීලිඞ්ගයෙහි

පඨමා ඒකවචන.       සෙතා වළවා           සුදුවෙළෙඹ (අශ්වධෙනුව)

පඨමා බහුවචන.       සෙතායො වළවායො  සුදු වෙළෙඹෝ

ඡට්ඨී ඒකවචන.        සෙතාය වළවාය       සුදු වෙළෙඹ ගේ

ඡට්ඨී බහුවචන.        සෙතානං වළවානං    සුදු වෙළෙඹුන් ගේ


36. අස්සො යනු පුංලිඞ්ගික අස්ස-ශබ්දයේ පඨමාවිභත්තික ඒකවචන පදය යි. එයට විශේෂණ වූ සෙත ශබ්දය ද පුංලිංගික ව පඨමාවිභත්තික ඒකවචනයෙන් සෙතො යී සිටී. ඒ දෙක ම ලිඞ්ගයෙන් ද විභත්තියෙන් ද සංඛ්‍යාවචනයෙන් ද සමාන යි.

 

ආඛ්‍යාතික ක්‍රියා

අස්

වත්තමානාවිභත්ති

            ඒක                බහු

පඨම පුරිස         අත්‍ථි                සන්ති

                    ඇත, වේ           ඇත්හ, වෙත්

මජ්ඣිම පුරිස      අසි                 අත්‍ථ

                    වෙහි               වහු

උත්තම පුරිස      අසමි, අම්හි        අසම, අම්හ

                    වෙමි               වමු

 

37. නාම - නිපාත යෝගය

මෛත්‍රෙය නම් බුදුරජ                 මෙත්තෙය්‍යො නාම බුද්ධො

මෛත්‍රෙය නම් බුදුරජ ගේ             මෙත්තෙය්‍යස්ස නාම බුද්ධස්ස

රාජගහ නම් නුවරෙහි                  රාජගහෙ නාම නගරෙ

යශොධරා නම් කුමාරිකාව             යසොධරා නාම කුමාරිකා

යශොධරා නම් කුමාරිකාව ගේ        යසොධරාය නාම කුමාරිකාය

 

        මෙසේ නමත් නම අයත් තැනැත්තා අඟවන පදයත් එක ම විභක්තියෙන් එක ම සංඛ්‍යාවෙන් එක ම ලිංගයෙන් තබන්න. ඒ දෙක අතරට “නාම” යන නිපාතය යොදන්න.

 

ශබ්ද මාලාව

විසාල - ලොකු                    ඛුද්ද - කුඩා

අනාගත - මතු                     අපුතතක - දරුවන් නැති

අප්පක - ටික, කුඩා                මජ්ඣිම - මැදුම්

අඩ්ඪ - ආඪ්‍ය, පෝසත්             මහද්ධන - ධනවත්

ඛර - ක්‍රෑර, දරුණු                  දුබ්බිනීත - නො හික්මුණු

චණ්ඩ - නපුරු, සැඩ              කණිට්ඨ - වයසින් බාල, කණිටු

අප්පිය - අප්‍රිය                     අමනාප - නොමනා

පිය - ප්‍රිය                          මනාප - මනා, මන වඩන

කිස - කෙට්ටු                      සදය - කරුණාව ඇති

අන්‍ධ - අඳ                         බධිර - බිහිරි

ඛඤ්ජ - කොර                     මධුර - මිහිරි

නව - අළුත්                        සද්ධ - සැදැහැවත්

මහල්ලක - මහලු                  උච්ච - උස්

නානාවිධ - නන්වැදෑරුම්          දළිද්ද - දිළිඳු

ගිලාන - ගිලන්

 

විශේෂණ

ජෙට්ඨ - දෙටු                      කණිට්ඨ - කණිටු

මහග්ඝ - අගනා                   දීඝ - දික්

කදරිය - මසුරු                    පච්චාමිත්ත, පටිපක්ඛ - සතුරු

අවිදූර - නොදුරු                   මහල්ලක - මහලු

 

පුංලිඞ්ගික

පරිවාර - පිරිවර                    ලංකාදීප - ලක්දිව

සුමනකූට - සමනොළ             සග්ග - ස්වර්‍ගය

ඔකාස - ඉඩ                       ඛන්‍ධාවාර - කඳවුර

සාමික - සැමියා                   උම්මග්ග - උමඟ

 

නපුංසක

ආපණ - කඩය                     උය්‍යාන - උයන

ආවුධ - ආයුධ                     ඨාන - තැන

 

ක්‍රියා

පහාය - හැර                       සල්ලපති - දොඩයි

තුදති - අනී

ඇබෑසිය

(අ) සිංහලයට නඟන්න.

1. නගරස්ස සමීපෙ විසාලං උය්‍යානං අත්‍ථි.

2. කිං ත්‍වං පතොදෙන තුදිත්‍වා ඛුද්දානි ඵලානි පාතෙසි ?

3. අනාගතෙ සමයෙ මෙත්තෙය්‍යො නාම බුද්ධො ලොකෙ පාතුභවිස්සති.

4. මහාසුමනො නාම අපුත්තකො කුටුම්බිකො රුක්ඛදෙවතං පූජෙත්‍වා පුත්තං පත්‍ථෙති.

5.  අජ්ජ විජයො නාම කුමාරො පරිවාරෙන සද්ධිං ලඞ්කාදීපං සම්පාපුනිස්සති.

6. අහං ඉතෙ චවිත්‍වා තුසිතෙ නාම දෙවලොකෙ උප්පජ්ජිස්සාමි.

 

7. ස්වෙ තෙ සුමනකූටං නාම පබ්බජිතං අභිරුහිස්සන්ති.

8. අප්පකා ජනා පාපතො විරමිත්‍වා පුඤ්ඤානි කත්‍වා සග්ගං පූරෙස්සන්ති.

9. නගරස්ස මජ්ඣිමෙ භාගෙ විසාලායො සාලායො සන්ති.

10. අඩ්ඪස්ස මහද්ධනස්ස පුරිසස්ස සරීරෙ ඛරො ආබාධො උප්පජ්ජති.

11. සාමිකො දුබ්බිනීතං භරියං ගෙහා නික්කඩ්ඪිස්සති.

12. චණ්ඩමහා සුනඛම්හා භායිත්‍වා මම කණිට්ඨො භාතිකො ගෙහං පවිසති.

13. තුම්හෙ අප්පියං වාචං පහාය පියාහි මනාපාහි වාචාහි සල්ලපථ.

14. දුබ්බිනීතස්ස දාරකස්ස පහාරෙන කිසාය කඤ්ඤාය පිට්ඨෙ රුජා උප්පජ්ජති.

15. මහද්ධනස්ස කුටුම්බිකස්ස සදයා භරියා අන්‍ධස්ස පුරිසස්ස ච බධිරාය වනිතාය ච ඛඤ්ජාය දාරිකාය ච මධුරං භොජනං ච නවානි වත්‍ථානි ච දෙති.

 

(ආ) පාලියට නඟන්න.

1.  සැදැහැවත් උවැසියෝ වෙහෙරට ගොස් මහලු තෙරහුගේ මිහිරි ධර්‍මකථාව අසත්.

2. විශාල උයනෙහි උස් ගස්හි නන්වැදෑරුම් පක්‍ෂීහු කැදැලි තනා වෙසෙත්.

3.  නො හික්මුණු සිසුනට අපේ පාසැලෙහි ඉඩ නැත.

4.  ධනවත්  පුරුෂයිනි, මසුරුබව මැඩ දිළිඳු ජනයනට උපකාර කරවු.

5.  දරුවනි, තෙපි වහා ගොස් වෙදා කැඳවාගෙනවුත් ගිලන් සොහොයුරාට පිළියම් කරවවු.

6.  අද සැඩ සුළඟින් ගස්වල කුඩා ගෙඩි පවා වැටේ.

7.  දෙටු පුත් තෙමේ කණිටු පුතු සමග කඩයට ගොස් අගනා වස්ත්‍ර‍යක් මිළයට ගනී වා.

8.  සොරු දික් උමගක් කැන මසුරු කෙළෙඹියාගේ ගෙට වදිති.

9.  බැඳුම්කරුවනි, තෙපි නුවර වටා උස් පවුරක් බඳිවු.

10. සතුරු රජුගේ සේනාවෝ නන්වැදෑරුම් ආයුධ ගෙන දික් මගින් අවුත් අප රජු ගේ නුවරට නොදුරු තැන කඳවුරු බඳිත්.


 

17                                               පුංලිංගික ශබ්ද

 

ඉකාරාන්ත - උකාරාන්ත

 

කපි (වඳුරා)

 

විභත්ති        ඒක                        බහු

පඨමා          කපි                        කපී, කපයො

                වඳුරා                       වඳුරෝ

 

දුතියා          කපිං                       කපී, කපයො

                වඳුරා                       වඳුරන්

 

තතියා         කපිනා                     කපීභි, කපීහි

                වඳුරා කරණ කොට        වඳුරන් කරණ කොට

 

චතුත්‍ථි         කපිනො, කපිස්ස          කපීනං

                වඳුරාට                     වඳුරනට

 

පංචමී          කපිනා, කපිම්හා,කපිස්මා  කපීභි, කපීහි

                වඳුරා ගෙන්                වඳුරන් ගෙන්

 

ඡට්ඨි           කපිනො, කපිස්ස          කපීනං

                වඳුරා ගේ                  වඳුරන් ගේ

 

සත්තමී        කපිම්හි, කපිස්මිං           කපිසු, කපීසු

                වඳුරා කෙරෙහි             වඳුරන් කෙරෙහි

 

ආලපන        කපි                        කපී, කපයො

                වඳුර                       වඳුරනි

 

        පුංලිඞ්ගික ඉකාරාන්ත නාමයෝ මේ කපි ශබ්දය මෙන් වර නැඟෙත්.


ගරු (ගුරුවරයා)

විභත්ති        ඒක                        බහු

පඨමා          ගරු                        ගරූ, ගරවො

                ගුරුවරයා                  ගුරුවරු   

දුතියා          ගුරුං                       ගරූ, ගරවො

                ගුරුවරයා                  ගුරුවරුන්

තතියා         ගරුනා                     ගරූභි, ගරූහි

                ගුරුවරයා කරණ කොට    ගුරුවරුන් කරණ කොට

චතුත්‍ථි         ගරුනො, ගරුස්ස          ගරූනං

                ගුරුවරයාට                ගුරුවරුනට

පංචමී          ගරුනා,ගරුම්හා,ගරුස්මා  ගරූභි, ගරූහි

                ගුරුවරයා ගෙන්           ගුරුවරුන් ගෙන්

ඡට්ඨී           ගරුනො, ගරුස්ස          ගරූනං

                ගුරුවරයා ගේ              ගුරුවරුන් ගේ

සත්තමී        ගරුම්හි, ගරුස්මිං          ගරුසු, ගරූසු

                ගුරුවරයා කෙරෙහි        ගුරුවරුන් කෙරෙහි

ආලපන        ගරු                        ගරූ, ගරවො

                ගුරුවරිය                   ගුරුවරුනි

        පුංලිඞ්ගික උකාරාන්ත නාමයෝ මේ ගරු ශබ්දය මෙන් වර නැඟෙත්.

        සැලකිය යුතු : භික්ඛු ශබ්දයේ ආලපන බහුවචනයේ භික්ඛවෙ (මහණෙනි) යි ද පදයෙක් ඇත. සෙස්ස ගරු-ශබ්දයේ මෙනි.

 

38. ශබ්දාන්ත ඉ-කාරය පඨමා දුතියා බහුවචනවලැ ඊ අයො වේ. කපී, කපයො. ඒ තන්හි ම අන්ත උ-කාරය ඌ, අවො වේ.

        ගරූ, ගරවො.

        සෙසු තන්හි සමාන ව සිටිත්.

 

ශබ්ද මාලාව

පුංලිඞ්ගික ශබ්ද

සෙනාපති - සෙනෙවියා               මුනි - බුදුරජ, තවුසා

ගහපති - ගැහැවියා                    ගිරි - පර්‍වතය, කන්ද

අග්ගි - ගින්න                          කපි - වඳුරා

පාණි - අත                            ඤාති - නෑයා

නිධි - නිධානය                        මණි - මිණ

වනප්පති - වනස්පති රුක             අතිථි - අමුත්තා

අසි - කඩුව                            අරි - සතුරා

සාළි - හැල්                            කවි - කිවියා

මුට්ඨි - මිට                            ඉසි - සෘෂිවරයා

මසි - දැල                              වීහි - වී

සුසු - ළමයා                           ජන්තු - සත්ත්‍වයා

තරු - රුක                            සත්තු - සතුරා

කෙතු - කොඩිය                       භික්ඛු - භික්‍ෂු නම

සංකු - උල                            වෙළු - උනගස

උච්ඡු - උක් ගස                       සෙතු - හේදංඩ

මච්චු - මරු, මරණය                  ධජ - ධ්වජය

ආතප - අව්ව                          සුප්ප - කුල්ල

උදුක්ඛල - වංගෙඩිය                   කලහ - පොරය

 

ස්ත්‍රීලිංගික ශබ්ද

පතාකා - කොඩිය                     සක්ඛරා - ගල්කැට

සොභා - ශෝභාව                     ගාථා - ගාථාව

 

නපුංසකලිංගික ශබ්ද

සමීප - ළඟ                            කට්ඨ - ලීය

කිරීට - කිරුළ, වොටුන්න              සීස - හිස

දූර - දුර                                කඨල - කැබැලිත්ත

තෙල - තෙල්                          පුප්ඵ - මල‍

ධන - මුදල                            චීවර - සිවුර

කොච්ඡ - කොස්ස, බුරුසුව           සුප්ප - කුල්ල

මුසල - මොහොල                     මත්‍ථක - මත්ත

 

විශේෂණ

සුක්ඛ - වියැලි                         බහු - බොහෝ, හුඟක්

දීඝ - දික්                               නව - අළුත්

ඡෙක, සමත්‍ථ - සමත්                  නානාවිධ - නන්වැදෑරුම්

නීල - නිල්                             රත්ත - රතු

මධුර - මිහිරි                           කිංකර - කිකරු

 

ක්‍රියාපද

අභිරූහති - නඟී                       ඔලොකෙති - බලයි

ජාලෙති - දල්වයි                      සොභති - හොබී

අපෙති - ඉවත් වෙයි                   අපෙච්ච - ඉවත් වැ

මුච්චති - මිදෙයි                       සොධෙති - සෝදයි

අලඞ්කරොති - සරසයි                 කූජති - කෑගායි (කුරුලුහඬින්)

ඛිපති - හෙලයි, වීසිකරයි              ආහිණ්ඩති - ඇවිදී

විනාසෙති - වනසයි                   ඉච්ඡති - කැමැති වේ

වණ්ණෙති - වණයි                    පලාපෙති - පලවාපියයි

වික්කිණාති - විකුණයි                 වික්කිණිත්‍වා - විකුණා

ලභති - ලබාගනී                       පුංඡති - පිසදමයි

පිහයති - කැමැති වෙයි                කොට්ටෙති-කොටයි, කපාදමයි

විචරති - ගැවසෙයි

 

ඇබෑසිය

(අ)   සිංහලයට නඟන්න :

1.    සෙනාපති යොධෙහි සද්ධිං නගරම්හා නික්ඛමති.

2.    මුනි සද්ධෙහි ගහපතීහි සද්ධිං ගිරිමභිරූහති.

3.    සූදො අග්ගිනා ඔදනං පචති.

4.    චණ්ඩො කපි පාණිතා ඛුද්දකං සිසුං පහරති.

5.    මයං පරසුවෙ අම්හාකං ඤාතීහි සද්ධිං නිධිං ඔලොකෙතුං ආවාටස්ස සමීපං ගච්ඡිස්සාම.

6.    භවන්තො දාරකා, තුම්හෙ ගහපතිනො පුත්තෙහි සද්ධිං වනං ගන්ත්‍වා සුක්ඛානි කට්ඨානි ආහරිත්‍වා ඉහ අග්ගිං ජාලෙථ.

7.    මණීහි කිරීටං ච කිරීටෙන භූපතිනො සීසං ච සොභති.

8.    මුනයො චණ්ඩානං මනුස්සානං ගාමා අපෙච්ච වනං ගච්ඡන්ති.

9.    කාරුණිකස්ස වෙජ්ජස්ස භෙසජ්ජෙහි බහවො ජන්තවො රොගතො මුච්චන්ති.

10.   සුවෙ සද්ධස්ස ගහපතිනො කිංකරා දාසා වනප්පතිනො හෙට්ඨාභාගං සුද්ධෙන ජලෙන සොධෙත්‍වා සමන්තා ධජෙහි ච පතාකාහි ච අලඞ්කරිස්සන්ති.

11.   අතිථිනො ඛුද්දකො සුසු මහල්ලකම්හා කපිම්හා භායිත්‍වා දූරං ධාවති.

12.   විසාලෙ ආරාමෙ උච්චෙසු තරුසු බහවො සකුනා කූජන්ති.

13.   දුබ්බිනීතා සුසවො කාසාරෙ මණ්ඩුකෙසු සක්ඛරායො ච කඨලෙ ච ඛිපන්ති.


(ආ) පාලියට නඟන්න.

1.    ආචාර්‍යයා බොහෝ දරුවන් සමග පර්‍වතයෙහි ඇවිදී.

2.    අපේ සෙනෙවියා ගේ භටයෝ දික් කඩුවලින් පැහැර බොහෝ සතුරන් වනසත්.

3.    තෙපි අපේ අළුත් හැල් මිලයට ගන්නට කැමැත්තහු ද?

4.    සමත් කිවියෝ වේළුවනයේ ශෝභාව නන්වැදෑරුම් ගාථායෙන් වණත්.

5.    ගැහැවියාගේ නපුරු පුතා මිටින් පැහැර කෙට්ටු දැරිය පලවාපියයි.

6.    අපි අද සැන්දෑවේ මලුත් තෙලුත් ගෙන සෘෂිහු දකින්නට යමෝ වා.

7.    මිත්‍ර‍ය, මගේ නිල් මිණ ද රතු මිණ ද ගෙන ගොස් වෙළෙඳාට විකුණා හුඟක් මුදල් ලබාගනුව.

8.    භික්‍ෂු තෙමේ සිවුරෙහි දැලි දැල කොස්සෙන් පිසදමයි.

9.    වැද්දෝ උල්වලින් ඇන මුවා මරත්.

10.   ඇතා උක්ගසේ මිහිරි රසයට කැමැති වෙයි.

11.   ගැහැවියාගේ කීකරු දැරිය වී අව්වේ දමා වේලා කුල්ලෙන් පොළා වංගෙඩියේ ලා මොහෙලින් කොටයි.

12.   බල්ලෝ දෙදෙන ඒදංඩ මත්තෙහි පොර කා (කලහ කොට) ගඟෙහි වැටෙති.

13.   භික්‍ෂූහු පිඬු පිණිස නුවරැ හැසිරෙත්.

14.   උනගස් අතුරෙහි බොහෝ සර්‍පයෝ ගැවසෙත්.

15.   සත්ත්‍වයෝ මරහුගෙන් තැති ගනිත්.


18                                         නපුංසකලිංගික ශබ්ද

 

ඉකාරාන්ත

                        ඒක                    බහු

පඨමා විභත්ති         අට්ඨි                   අට්ඨි, අට්ඨීනි

                        ඇටය                  ඇට

ආලපන විභත්ති       අට්ඨි                   අට්ඨී, අට්ඨීනි

                        ඇටය                  ඇට

දුතියා විභත්ති          අට්ඨිං                  අට්ඨී, අට්ඨීනි

                        ඇටය                  ඇට

 

      සෙසු විභක්තීන්හි පුංලිඞ්ගික ඉකාරාන්තයන් ගේ මෙනි.

 

උකාරාන්ත

චක්ඛු (ඇස)

                        ඒක                    බහු

පඨමා විභත්ති         චක්ඛු                  චක්ඛූ, චක්ඛූනි

                        ඇස                    ඇස්

ආලපන විභත්ති       චක්ඛු                  චක්ඛූ, චක්ඛූනි

                        ඇස                    ඇස්

දුතියා විභත්ති          චක්ඛුං                 චක්ඛූ, චක්ඛූනි

                        ඇස                    ඇස්

      ඉතිරි විභක්තීන්හි පුංලිඞ්ගික උකාරාන්තයන් ගේ මෙනි.

 

ආඛ්‍යාතික ක්‍රියා

අජ්ජතනී විභත්ති

                        ඒක                    බහු

පඨම පුරිස             සො ගච්ඡි             තෙ ගච්ඡිංසු, ගච්ඡුං

                        හේ ගියේ ය            ඔහු ගියාහ

මජ්ඣිම පුරිස          ත්‍වං (ගච්ඡො) ගච්ඡි    තුම්හෙ ගච්ඡිත්‍ථ

                        තෝ ගියෙහි            තෙපි ගියහු

උත්තම පුරිස          අහං ගච්ඡිං            මයං ගච්ඡිම්හා

                        මම් ගියෙමි            අපි ගියමු


39. මෙහි ඇති විභක්තිප්‍ර‍ත්‍යයයන් වෙන් කොට ගන්න.

 

                        ඒක                    බහු

පඨම පුරිස             ඊ                       ඉංසු, උං

මජ්ඣිම පුරිස          ඔ (ඊ)                  (ඉ) ත්‍ථ

උත්තම පුරිස          ඉං                     (ඉ) ම්හා

 

        මේවා එක් ව හැදෙන ක්‍රියාපදවල මුලට සමහර විට අ-කාරයෙක් ද එක් වී සිටී.   

 

        උත්තම පුරිස බහුවචන රූපය “ම්හ” යී ද සිටී.

 

        අගච්ඡි (ගියේය), අගච්ඡුං - අගච්ඡිංසු (ගියාහ) යන ආදි වශයෙනි.

 

40. ගච්ඡ යන අංගය අ-කාරාන්ත යි. එයට ඊ - උං ආදි විභක්ති ප්‍ර‍ත්‍යයයන් එක් ව අතීත ක්‍රියා හැදෙන හැටි උඩ දැක්විණ. කරොති තනොති ආදියෙහි අතීත රූප අකරී අතනී ආදීන් සිටී.

 

41. අඞ්ගය එ-කාරාන්ත හෝ ආ-කාරාන්ත වී නම් විභක්ති ප්‍ර‍ත්‍යයනට මුලින් ස් යන්නෙක් අමුතුවෙන් එක් ව සන්‍ධි වේ.

 

නිදර්‍ශන :

        දෙසෙ + ඊ = දෙසෙ + ස් + ඊ = දෙසෙසි (දෙසී ය).

 

                       ඒක                  බහු

පඨම පුරිස            සො දෙසෙසි        තෙ දෙසෙසුං, දෙසෙසිංසු

මජ්ඣිම පුරිස         ත්‍වං දෙසෙසි         තුම්හෙ දෙසෙසිත්‍ථ

උත්තම පුරිස         අහං දෙසෙසිං       මයං දෙසෙසිම්හා,දෙසෙසිම්හ

 

42. මුලට අ-කාරය එක් කොට අදෙසෙසි, අදෙසෙසුං යන ආදිහු ද සෑදෙති.

ආකාරාන්ත ධාතුවෙන් හෝ අංගයෙන් හැදෙන ක්‍රියා

සො            අදාසි           තෙ අදංසු, අදාසිංසු

ත්‍වං            අදාසි           තුම්හෙ අදත්‍ථ, අදාසිත්‍ථ

අහං            අදාසිං          මයං අදම්හා, අදාසිම්හා

        (සො අදාසි (හේ දුන්නේය), තෙ අදංසු (ඔහු දුන්හ).

මෙබඳු තවත් ක්‍රියා කිහිපයෙක් :

ධාතුව          වර්‍තමාන රූපය         අතීත රූපය

ඨා             තිට්ඨති (සිටී)          අට්ඨාසි (සිටියේ ය)

කර්            කරොති (කරයි)        අකාසි (කෙළේ ය)

පා             පිවති (බොයි)          අපාසි (පූයේ ය)

හර්             හරති (ගෙන යයි)      අහාසි (හැර ගෙන ගියේ ය)

ආ-ඛා          අක්ඛාති (කියයි)       අක්ඛාසි (කීයේ ය)

ඤා             ජානාති (දනී)          අඤ්ඤාසි (දැන ගත්තේ ය)

 

43. හොති (වෙයි) යන ක්‍රියාවේ අජ්ජතනීවිභත්ති රූප දැන් දැක්වේ.

 

                ඒක                    බහු

පඨම පුරිස     සො අහොසි           තෙ අහෙසුං

                හේ වී ය               ඔහු වූහ

මජ්ඣිම පුරිස  ත්‍වං අහොසි           තුම්හෙ අහොසිත්‍ථ, අහුවත්‍ථ

                තෝ වීහි               තෙපි වූහු

උත්තම පුරිස  අහං අහොසිං          මයං අහොසිම්හා, අහුවම්හා

                මම් වීමි                අපි වූමු

 

අත්‍ථි (ඇත, වෙයි) යන්නෙහි අජ්ජතනී රූප

                ඒක                    බහු

පඨම පුරිස     සො ආසි              තෙ ආසුං

                හේ වී ය               ඔහු වූහ

මජ්ඣිම පුරිස  ත්‍වං ආසි               තුම්හෙ ආසිත්‍ථ

                තෝ වීහි               තෙපි වූහු

උත්තම පුරිස  අහං ආසිං             මයං ආසිම්හා

                මම් වීමි                අපි වූමු

 

උපසර්‍ග මුලට සිටි ආඛ්‍යාත

 

44. අතීත කාලික ක්‍රියා හැදීමේදී සමහර තැන ධාතුවට මුලින් අ-යන්නක් එක් වන බව උඩ කීමු. එබඳු තැන එයට මුලින් සිටින උපසර්‍ගය හා එය සන්‍ධි විය යුතු. “පවදති” යන මෙහි ප-යනු උපසර්‍ගයි. මෙහි අතීතරූපය ප + අවදි යි වැ, සන්‍ධි වීමෙන් පසු “පාවදි” කියා සිටී.


සන්‍ධි

45. අසමාන ස්වරයට මුලින් සිටි ඉ-වර්‍ණය ය් කාරයෙක් වේ. පති+අ = පත්ය්අ = පත්‍ය. ත්‍ය යන්න ච්ච වේ. ධ්‍ය යන්න ජ්ඣ වේ. භ්‍ය යන්න බ්භ වේ.

        පති + අ + භාසි = පත්‍යභාසි, පච්චභාසි කියා වේ. මෙසේ ම, අධි අභවි - අධ්‍යභවි - අජ්ඣභවි. අභි අඤ්ඤාසි = අභ්‍යඤ්ඤාසි, අබ්භඤ්ඤාසි යැ යි පදසිද්ධිය වේ.

 

සන්‍ධි

46. එ ඔ දෙකින් පර අ ඉ දෙක මැකීයයි (ලොප් වේ).

        පුබ්බෙ + අපි - පුබ්බෙ’පි

        පාලො + ඉති - පාලො’ති

       

පර ස්වරය ලොප් වූ සමහර තැනෙක එයින් පූර්‍ව වැ සිටි ස්වරය දීර්‍ඝ වේ.

        පටිජග්ගාම ඉති = පටිජග්ගාමා’ති

        කිං සු ඉධ = කිං සූ’ධ

 

47. පූර්‍ව ස්වරය ලොප් වූ කිසි තැනෙක පර ස්වරය දීර්‍ඝ වේ.

        සද්ධා ඉධ = සද්ධීධ

        තථා උපමං = තථූපමං.

 

48. යමක් නො කරව යි වැළැක්වීමෙහි අතීතකාලික ආඛ්‍යාත සමග ද මා-නිපාතය යෙදේ.

        උදාහරණ :

                මා ගච්ඡි (නො යව), මාගච්ඡිත්‍ථ (නො යවු).

 

ශබ්ද මාලාව

පුංලිඞ්ගික ශබ්ද

මූසික - මීයා                           මච්ඡ - මතස්‍යයා

සායණ්හ - සවස                       තළාක - විල

තරඞ්ග - රළ                           සිස්ස - ශිෂ්‍යයා

කාසාර - විල                          වස-වශය,අත්අඩංගුව,යටත්බව

වණ්ණ - වර්‍ණය                        භමර - බමරා

කාරු - ශිල්පියා                        යට්ඨි - සරයැටිය

මච්චු - මරු

නපුංසකලිඞ්ගික ශබ්ද

උය්‍යාන - උයන                       ජාල - දැල

ජල, උදක - දිය                        මුඛ - මුහුණ

පදුම - නෙලුම්                         උප්පල - මානෙල්

ලවණ - ලුණු                          සුඛ - සැපය

බල - බලය, ශක්තිය                   තක්ක - මෝරු

දධි - දිහි                               අසුචි - අශුචිය

සප්පි - ගිතෙල්                        තිපු - ඊයම්

ජතු - ලහකඩ                          වත්‍ථු - ඉඩම, වාස්තුව

වායු - සුළඟ                           චක්ඛු - ඇස

 

ස්ත්‍රීලිඞ්ගික ශබ්ද

දාඨා - දළ                              සංඛලිකා - හැකිල්ල, මාංචුව

සාඛා - අත්ත                          පටිමා - පිළිමය, රූපය

පඤ්ඤා - ප්‍ර‍ඥාව                        ලාඛා - ලහකඩ

 

විශේෂණ ශබ්ද

විසාල - ලොකු                        උච්ච, තුංග - උස්

පක්ක - පැසුණු                        අපක්ක - නොපැසුණු

තිඛිණ - තියුණු, මුවහත්               ගභීර - ගැඹුරු

විවිධ, නානාවිධ - නන්වැදෑරුම්       මන්‍ද - මඳ

අප්ප - සුළු, කුඩා                      වීර - බය නැති

සෙත - සුදු                            සුද්ධ - ශුද්ධ වූ

සුසීල - හික්මුණු, සිල්වත්              අම්බිල - ඇඹුල්

තිත්ත - තික්ත                         රමණීය - සිත්කලු

විකසික - පුබුදු වූ, පිපුණු              පබල - බලවත්, ශක්තිමත්

භිංසණ - බිහිසුණු                      චණ්ඩ - නපුරු, සැඩ

සොභන - හොබනා, ලස්සන          දීඝ - දික්

දළිද්ද - දිළිඳු                           අතීත - පෙර සිටි

අනෙකවිධ - නොයෙක් වැදෑරුම්      රත්ත - රතු

 

ක්‍රියාපද

කන්තති - කපයි                       විචරති - හැසිරෙයි

උබ්භවති - මතුවේ, පහළවේ, නඟියි   ආරාධෙති- (සිත) ගනී, සතුටු කරයි

ඉච්ඡති - කැමැති වෙයි                පරිස්සජති - වැළඳගනී

නස්සති - නැසෙයි                     කරොති - තනයි

ජාලෙති - දල්වයි                      සක්කොති - හැකි වෙයි

අසක්ඛි - හැකි විය                    පහාය - හැර

වඩ්ඪති - වැඩෙයි                      පග්ඝරති - වැගිරෙයි

මන්‍ථෙති - මත්ගායි, පොඩිකරයි        ඛිපති - බහාලයි

සංචරති - ගැවසෙයි, හැසිරෙයි        ඡාදෙති - වසයි

සජ්ජෙති - සරසයි                     පජහති - හැර දමයි

 

ඇබෑසිය

 

(අ)     පචති, මාරෙති යන ක්‍රියාවල අංගයන් වෙන් කරන්න. වත්තමානා පංචමී අජ්ජතනී යන විභක්තීන්හි වරනඟන්න.

 

(ආ)    අක්ඛී වායු ශබ්ද වරනඟන්න.

 

(ඉ) සිංහලයට නඟන්න.

 

1.  විසාලෙ උය්‍යානෙ උච්චෙහි තරූහි පක්කානි ච අපක්කානි ච ඵලානි පතිංසු.

2.  මූසිකා තිඛිණාහි දාඨාහි ජාලං කන්තිංසු.

3.  ජලනිධිනො ගභීරෙ ජලෙ විවිධා විසාලා මච්ඡා විචරන්ති.

4.  සායණ්හෙ තළාකස්ස ජලෙ මන්‍දෙන වායුනා අප්පා තරඞ්ගා උබ්භවන්ති.

5.  වීරස්ස සෙනාපතිනො වීරා පුත්තා සෙතෙ අස්සෙ ආරුය්හ යොධෙහි සද්ධිං සංගාමං පවිසංසු.

6.  ඉදානියෙව ත්‍වං තළාකං ගන්ත්‍වා සුද්ධෙන උදකෙන මුඛං ච හත්‍ථෙ ච පාදෙ ච ධොවිත්‍වා ඉධාගච්ඡ.

7.  සුසීලා සිස්සා සුසීලස්ස ආචරියස්ස චිත්තං ආරාධෙසුං.

8.  නාහං අම්බිලානි වා තිත්තානි වා ඵලානි ඛාදිතුමිච්ඡාමි.

9.  භවන්තො කුමාරා, තත්‍ර‍ රමණීයෙ විසාලෙ කාසාරෙ විකසිතානි පදුමානි ච උප්පලානි ච පස්සථ.

10. පබලා රාජපුරිසා භිංසණං වනං පවිසිත්‍වා චණ්ඩෙ චොරෙ ගහෙත්‍වා සංඛලිකාහි බන්‍ධිත්‍වා අනෙසුං.

11. සොභනා ලතා තුංගස්ස තරුනො දීඝා සාඛායො පරිස්සජන්ති.

12. භාතිකෙන විනා මා තුම්හෙ ඉතො නික්ඛමිත්‍ථ.

13. මම පුත්තො දුක්ඛං මාගමී.


(ඊ) පාලියට නඟන්න.

 

1. නපුරු වෙදා ගේ බෙහෙතින් දිළිඳු ස්ත්‍රියගේ ඇස් නෑසිණ.

2.  තො ඊයමින් ඇතකු ගේ රූපයක් තැනූයෙහි ද?

3.  බමුණා ගිතෙල් ඉස ගින්න දැල්වී ය.

4.  අතීත සත්ත්‍වයෝ ද මරහු ගේ වශයට ගියාහ.

5.  දිය ඉස ද ගින්න නිවන්නට නොහැකි වීමි.

6.  බොජුන් දී ආයුෂයෙන් ද වර්‍ණයෙන් ද සුවයෙන් ද බලයෙන් ද ප්‍ර‍ඥායෙන් ද වැඩෙන්නාහ.

7.  කයින් නොයෙක් වැදෑරුම් අශුචි වැගිරෙයි.

8.  දිය සමග දිහි පොඩි කොට (මත් ගා) ලුණු බහා මෝරු සාදන්න.

9.  රතු වූ ද සුදු වූ ද පියුම්හි බමරු ගැවැසුණාහ.

10. ගැඹුරු ජලයෙහි නානාවිධ මත්ස්‍යයෝ හැසිරෙත්.

11. ශිල්පී තෙම සැරයටිය ලහකඩින් වසා සරසයි.

12. ඔක්කාක නම් රජු ගේ පුතු රට හැරගොස් කපිල නම් සෘෂීහු ගේ ඉඩමෙහි නුවරක් කොට කපිලවත්‍ථු යැ යි නම් කළාහ.

13. තෙපි ගමින් බැහැර නො වසවු.

14. මගේ උත්සාහය තොපට අවැඩ පිණිස නො වේ වා.


19                                               පුංලිංගික ශබ්ද

 

ඊකාරාන්ත හත්‍ථි (ඇතා)

                        ඒකවචන              බහුවචන

පඨමා විභත්ති         හත්‍ථී                   හත්‍ථී, හත්‍ථිනො

ආලපන විභත්ති       හත්‍ථි                   හත්‍ථී, හත්‍ථිනො

දුතියා විභත්ති          හත්‍ථිං                  හත්‍ථී, හත්‍ථිනො

        සෙසු විභක්තීන්හි ඉහත 17 වැනි පාඩමෙහි දුන් කපි ශබ්දය මෙන් වරනැඟේ.

 

ඌකාරාන්ත විදූ (පණ්ඩිතයා)

                        ඒකවචන              බහුවචන

පඨමා විභත්ති         විදූ                     විදූ, විදුනො

ආලපන විභත්ති       විදු                     විදූ, විදුනො

දුතියා විභත්ති          විදුං                    විදූ, විදුනො

        ඉතිරි විභක්තීන්හි යට 17 වැනි පාඩමෙහි දුන් ගරු ශබ්දය මෙන් වර නැඟේ.

 

49.     ඡත්තී (ඡත්‍ර‍ ඇත්තේ, අතින් ගත් කුඩයක් ඇත්තේ).

        මාලී (මල්දමක් ඇත්තේ)

        යොගී (යෝග වඩන්නේ)

        සාමී (ස්වාමියා)

        මන්තී (මන්ත්‍ර‍ දන්නේ, මන්ත්‍ර‍ණ ඇත්තේ)

        චාගී (දෙන සුලු)

        බලී (ශක්ති ඇත්තේ)

        පාපකාරී (පව් කරන සුලු).

        මේ ආදි ඊ-ප්‍ර‍ත්‍යය එක් වැ හැදෙන පද හත්‍ථි ශබ්දය මෙන් වර නඟන්න.

       

සබ්බඤ්ඤූ (සර්‍වඥ, සියල්ල දන්නා)

        මග්ගඤ්ඤූ (මඟ දන්නා)

        පාරගූ (පරතෙරට යන්නා)

        මේ ආදි ඌකාරාන්ත ශබ්ද විදූ ශබ්දය මෙන් වර නඟන්න. මොහු තනිව ද අන් නාමයනට විශේෂණව ද වාකයෙහි යෙදෙත්.

 

තනි ව යෙදීම

        ඡත්තී ගාමෙ චරති (කුඩයක් අතින් ගත් තැනැත්තේ ගමේ හැවිදී)

ඡත්තී පුරිසො ගාමෙ විචරති (කුඩයක් අතින් ගත් මිනිසා ගමේ ඇවිදී)

විදූ ඔවදති (පණ්ඩිතයා අවවාද කරයි)

විදූ පුරිසො ඔවදති (පණ්ඩිත පුරුෂයා අවවාද කරයි).

 

ආඛ්‍යාතික ක්‍රියා

 

සත්තමීවිභත්තිය

 

ගම් (ගච්ඡ)

                        ඒකවචන              බහුවචන

පඨම පුරිස             සො ගච්ඡෙ            තෙ ගච්ඡෙය්‍යුං

මජ්ඣිම පුරිස          ත්‍වං ගච්ඡෙය්‍යාසි      තුම්හෙ ගච්ඡෙය්‍යාථ

උත්තම පුරිස          අහං ගච්ඡෙය්‍යාමි      මයං ගච්ඡෙය්‍යාම

 

මෙහි විභක්ති ප්‍ර‍ත්‍යයයෝ

පඨම පුරිස             එ, එය්‍ය                එය්‍යුං

මජ්ඣිම පුරිස          එය්‍යාසි                එය්‍යාථ

උත්තම පුරිස          එය්‍යාමි                එය්‍යාම

 

50. අනුමතිය (අනුදැනීම, අවසරදීම), පරිකල්පය, අනිශ්චයය, නියෝගය යන ආදි අර්‍ථ ප්‍ර‍කාශකිරීමෙහි මේ ක්‍රියාවෝ යෙදෙත්.

 

අනුමතියෙහි :          සො ගච්ඡෙය්‍ය        තෙ ගච්ඡෙය්‍යුං

                        (හේ යේ වා)           (ඔහු යෙත් වා)

පරිකල්පයෙහි :        සො ගච්ඡෙය්‍ය        තෙ ගච්ඡෙය්‍යුං

                        (ඔහු යනවා ඇත)      (ඔවුන් යනවා ඇත)

 

අනිශ්චයයෙහි :

                යදි සො ගච්ඡෙය්‍ය

                සචෙ සො ගච්ඡෙය්‍ය

                සො ගච්ඡෙය්‍ය චෙ

                (ඉදින් හේ යන්නේ නම්).

නියෝගයෙහි සො ගච්ඡෙය්‍ය

                (හේ යන්නේ ය, ඔහු යෑ යුතු.)

 

ප්‍රාර්‍ථනායෙහි අහොවත සො ගච්ඡෙය්‍ය

                අප්පෙවනාම සො ගච්ඡෙය්‍ය

                යන්නූන සො ගච්ඡෙය්‍ය

හේ යන්නේ නම් ඉතා යෙහෙකි ! (ඔහු යතොත් කොච්චර හොඳ ද!)

 

සන්‍ධි

 

51. ස්වරයකට පර වූ එව ශබ්දයේ එ-කාරයට මුලින් බොහෝ තැන ය්-කාරයෙක් අමුතුවෙන් එක්ව (ආගම වී) සන්‍ධි වෙයි.

        තෙ එව = තෙ ය් එව = තෙ යෙව.

 

ශබ්ද මාලාව

පුංලිඞ්ගික

අය්‍ය - ආර්‍යයා                         නිරය - නිරය

පාණාතිපාත - ප්‍රාණවධය              සමණධම්ම - මහණදම

උපද්දව - උවදුර                       කන්තාර - කාන්තාරය

ගුණ - ගුණය                          සාමී - සැමියා

ඔවාද - අවවාදය                       දිට්ඨධම්ම - මෙ අත්බව

 

නපුංසකලිංගික

සරණ - බුද්ධාදි සරණය (පිහිට)        සීල - සිල්

අඵාසුක - අපහසුව                    සීස - හිස

පාප - පව                             අනගාරිය - සස්න, පැවිදිබිම

අගාර - ගිහි ගෙය                      වට්ටදුක්ඛ - සසර දුක

බාල්‍ය - ළපැටි වයස                   හිත - දියුණුව, යහපත

වාණිජ්ජ - වෙළෙඳාම                  කසිකම්ම - ගොවිතැන

ධන - ධනය, මුදල                     ජීවිත - ජීවිතය

 

ස්ත්‍රීලිඞ්ගික ශබ්ද

වාචා - වචනය                        භරියා - භාර්‍යාව

වසුධා - පොළොව                     පුඤ්ඤකිරියා - පුණ්‍යක්‍රියාව

විශේෂණ ශබ්ද

එවරූප - මෙබඳු                       ගිලාන - ගිලන්

අසච්ච - බොරු                       මග්ගඤ්ඤූ - මඟ දන්නා

දණ්ඩී - දඬුගත් අතැති                 ගුණඤ්ඤූ - ගුණදන්නා

ගුණී - ගුණවත්                        ධම්මඤ්ඤූ - දහම් දන්නා

කුට්ඨී - කුෂ්ට ඇති                     විදූ - නුවණැති

සබ්බඤ්ඤූ - සියල්ල දන්නා           ඊදිස - මෙ බඳු

නීච, හීන - පහත්                      චාගී - ත්‍යාගවත්

ධම්මී - දැහැමි                          ගුණී - ගුණැති, ගුණවත්

මච්ඡරී - මසුරු                        සුසීල - සිල්වත්

ඤාණී - නුවණැති                      භාගී - හවුල්, කොටස් අයත්

සූර - ශූර වූ                            දුක්ඛී - දුක් ඇති

සුඛී - සැප ඇති                       සහභාගී - හවුල්

 

නිපාත පද

සබ්බදා - හැම කල්හි                   ධුවං - ඒකාන්තයෙන්

කථං - කෙසේ?                        සත්තධා - සත් කඩකට

සයං - තෙමේ                         සම්මා - මනා කොට

ඛිප්පං - වහා                           අහො වත - ඉතා යෙහෙක!

 

පූර්‍වක්‍රියා

පුරක්ඛත්‍වා - පෙරටු කොටගෙන       නික්ඛම්ම - නික්ම

අසල්ලක්ඛෙත්‍වා - නො තකා          පතිට්ඨාය - පිහිටා

ආගම්ම - අවුත්

 

ආඛ්‍යාතික ක්‍රියා

ගණ්හාති - ගනී                        කථෙති - කියයි

ජානාති - දනී                          ඵලති - පැලෙයි

විරමති - වැළැකෙයි                   පාලෙති - රකී

ජායති - උපදී                          සික්ඛති - උගනී

තරති - ඉක්මැ යයි                     පබ්බජති - පැවිදිවෙයි, සසුන් වදී

වණ්ණෙති - වණයි,පසසයි,ගුණකියයි  නික්කඩ්ඪති - බැහැර කරයි

පත්‍ථෙති - පතයි                       නයති - ගෙන යයි

පරාජෙති - පරදවයි                    කම්පති - සැලෙයි

අජ්ජෙති - උපයයි                     පූජෙති - පුදයි

අතික්කමති - ඉක්මැ යෙයි             ජිනාති - දිනයි

අනුගච්ඡති - අනුව යයි                අනුකම්පති,අනුග්ගණ්හාති-

පහොති, සක්කුනාති - හැකිවෙයි                      අනුකම්පා කරයි

ඇබෑසිය

 

(අ)     ඡත්තී සබ්බඤ්ඤූ ශබ්ද වරනඟන්න.

 

(ආ)    තිට්ඨති, කරොති, කිණාති යන ක්‍රියාවල අංග වෙන් කරන්න. වත්තමානා, පංචමී, සත්තමී, අජ්ජතනී, භවිස්සන්තී යන ආඛ්‍යාත විභක්තීන්හි වරනඟන්න.

 

(ඉ)     සිංහලයට නඟන්න.

1.      භන්තෙ, සචෙ අය්‍යා ඉධ වසෙය්‍යුං, මයං සරණෙසු පතිට්ඨාය සීලානි ගණ්හෙය්‍යාම.

2.      භාතික, සචෙ අඵාසුකං තෙ උප්පජ්ජෙය්‍ය අථ මය්හං කථෙය්‍යාසි.

3.      කථං මයං තං ජානෙය්‍යාම ?

4.      සචෙ එවරූපස්ස අය්‍යස්ස සන්තිකං න ගච්ඡෙය්‍යාමි මම සීසං සත්තධා ඵලෙය්‍ය.

5.      යන්නූනාහං සයමෙව ගන්ත්‍වා වෙජ්ජමානෙස්සාමීති ගිලානස්ස ගහපතිනො පුත්තො චින්තෙසි.

6.      සචෙ ත්‍වං පාපානි කරෙය්‍යාසි, මරණා පරං නිරයෙ උප්පජ්ජෙය්‍යාසි.

7.      භොන්තො, ඛිප්පං තුම්හෙ පාණාතිපාතා විරමෙය්‍යාථ.

8.      භවන්තො උපාසකා, හීනං ධම්මං න සෙවෙය්‍යාථ.

9.      නරපතයො ධම්මෙන වසුධං පාලෙය්‍යුං.

10.     අහොවතාහං අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍යාමි, සමණධම්මං ච සම්මා පූරෙය්‍යාමි, වට්ටදුක්ඛම්හා ච මුච්චෙය්‍යාමි.

11.     අසච්චාහි වාචාහි බහවො උපද්දවා ජායෙය්‍යුං.

12.     යන්නූන තුම්හෙ බාල්‍යෙ’ව සිප්පං සික්ඛෙය්‍යාථ.

13.     හෙ වාණිජා, තුම්හෙ මග්ගඤ්ඤුං පුරිසං පුරක්ඛත්‍වා දණ්ඩීහි සෙවකෙහි සද්ධිං නික්ඛම්ම කන්තාරං තරෙය්‍යාථ.

14.     ගුණඤ්ඤුනො යෙව ගුණිනො ජනස්ස ගුණං වණ්ණෙන්ති.

15.     දුට්ඨා භරියා ධම්මඤ්ඤුනො සාමිනො ඔවාදමසල්ලක්ඛෙත්‍වා කුට්ඨිනං සෙවකං ගෙහම්හා නික්කඩ්ඪි.

16.     විදුනො ජනායෙව සබ්බඤ්ඤුම්හි බුද්ධෙ පසීදෙය්‍යුං.


පාලියට නඟන්න

 

1.      ඔහු ඔබේ දියුණුව පතන්නාහු නම්, මෙබඳු පහත් මඟෙකින් ඔබ ගෙන නො යන්නාහ.

2.      දැහැමි ත්‍යාගවත් පුරුෂයා දානයෙන් මසුරු ජනයන් පරදවන්නේ ය.

3.      ගුණ ඇතියන් ගේ මරණයෙහි පොළොව ද සැලෙනවා ඇත.

4.      තෙපි හැකියහු නම්, වෙළෙඳාමෙන් හෝ ගොවිතැනින් හෝ ධනය උපයවු.

5.      නුවණැති ත්‍යාගවත් ජනයෝ ලෝකයා ගේ යහපත පිණිස ධනය ද ජීවිතය ද පුදන්නාහ.

6.      සිල්වත් නුවණැති භික්‍ෂුහු සියල්ල දන්නා බුදුරජු ගේ වචනය නො ඉක්මෙන්නාහ.

7.      ලොවැ ශූර ජනයෝ ම හැම කල්හි සතුරන් දිනන්නාහ යි නුවණැත්තෝ කියත්.

8.      ඉදින් තෙපි ගුණවත් ආචාර්‍යයා ගේ අවවාදය අනුව යන්නහු නම් ඒකාන්තයෙන් මේ අත්බව්හි ද මරණින් මත්තෙහි ද සැප ලබන්නහු ය.

9.      තෙපි මෙහි අවුත් අපගේ පුණ්‍යක්‍රියාවට හවුල් වවු.

10.     සැප ඇත්තෝ දුක් ඇත්තනට අනුකම්පා කරන්නාහු නම් ඉතා යෙහෙක.


20                                              ස්ත්‍රීලිංගික ශබ්ද

ඉකාරාන්ත

රත්ති (රාත්‍රිය)

                        ඒක                    බහු

පඨමා විභත්ති         රත්ති                   රත්තී, රත්තියො

දුතියා විභත්ති          රත්තිං                  රත්තී, රත්තියො

තතියා විභත්ති         රත්තියා                රත්තීභි, රත්තීහි

චතුත්‍ථි විභත්ති         රත්තියා                රත්තීනං

පඤ්චමී විභත්ති       රත්තියා                රත්තීභි, රත්තීහි

ඡට්ඨි විභත්ති          රත්තියා                රත්තීනං

සත්තමී විභත්ති        රත්තියා, රත්තියං      රත්තිසු, රත්තීසු

ආලපන විභත්ති       රත්ති                   රත්තී, රත්තියො

උකාරාන්ත

යාගු (කැඳ)

                        ඒක                    බහු

පඨමා විභත්ති         යාගු                    යාගු, යාගුයො

දුතියා විභත්ති          යාගුං                   යාගූ, යාගුයො

තතියා විභත්ති         යාගුයා                 යාගූභි, යාගූහි

චතුත්‍ථි විභත්ති         යාගුයා                 යාගූනං

පඤ්චමී විභත්ති       යාගුයා                 යාගූභි, යාගූහි

ඡට්ඨි විභත්ති          යාගුයා                 යාගූනං

සත්තමී විභත්ති        යාගුයා, යාගුයං        යාගුසු, යාගූසු

ආලපන විභත්ති       යාගු                    යාගූ, යාගුයො

ඊකාරාන්ත

නදී (නදිය, ගඟ)

                        ඒක                    බහු

පඨමා විභත්ති         නදී                     නදී, නදියො

දුතියා විභත්ති          නදිං                    නදී, නදියො

තතියා විභත්ති         නදියා                  නදීභි, නදීහි

චතුත්‍ථි විභත්ති         නදියා                  නදීනං

පඤ්චමී විභත්ති       නදියා                  නදීභි, නදීහි

ඡට්ඨි විභත්ති          නදියා                  නදීනං

සත්තමී විභත්ති        නදියා, නදියං          නදීසු

ආලපන විභත්ති       නදි                     නදී, නදියො


ඌකාරාන්ත

වධූ (විවාපත් ස්ත්‍රී)

                        ඒක                    බහු

පඨමා විභත්ති         වධූ                     වධූ, වධුයො

දුතියා විභත්ති          වධුං                    වධු, වධුයො

තතියා විභත්ති         වධුයා                  වධූභි, වධූහි

චතුත්‍ථි විභත්ති         වධුයා                  වධූනං

පඤ්චමී විභත්ති       වධුයා                  වධූභි, වධූහි

ඡට්ඨි විභත්ති          වධුයා                  වධූනං

සත්තමී විභත්ති        වධුයා, වධුයං          වධූසු

ආලපන විභත්ති       වධු                     වධූ, වධුයො

 

ශබ්ද මාලාව

 

පුංලිඞ්ගික ශබ්ද

සෙට්ඨි - සිටුවරයා                 ගබ්භ - දරුගබ

වණ්ණ - වේශය                   අස්සාරොහක - අසරුවා

පොතක - පැටවා                  සම්බුක - රන්වන් බෙල්ලා

වත්‍ථ - රෙද්ද

 

නපුංසකලිඞ්ගික ශබ්ද

පාන - බීම                             සුවණ්ණචුණ්ණ - රන්සුණු

සීල - සිල්                             ලොම - ලොම්

ඛීර - කිරි                              මස්සු - රවුල

දූර - දුර                                කාස