විමති විනෝදනී - චෝළිය කස්සප හිමි.pdf
- කතෘ :
- චෝළිය කස්සප හිමි
- පිටු ගණන :
- 441
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-23
- ගොනුවේ ප්රමාණය :
- 130 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විමතිවිනොදනී ටීකා (පළමු කොටස - පාරාජිකා කාණ්ඩය) යනු සම්බුද්ධ ශාසනයේ විනය පිටකයට අයත් සමන්තපාසාදිකා විනය අට්ඨකථාව විස්තර කරමින් රචිත පාලි ටීකා ග්රන්ථයේ සිංහල පරිවර්තනයකි. මෙය දක්ෂිණ භාරතයේ වැඩවිසූ මහා විහාර වංශික භදන්තාචරිය චෝළිය කස්සප මහා තෙරුන් වහන්සේ විසින් 12 වන සියවසේදී පමණ රචනා කරන ලද්දකි.
පොළොන්නරු යුගයේ සාරිපුත්ත මාහිමියන් විසින් රචිත සාරත්ථදීපනී ටීකාවෙහි ඇතැම් තැන් විවේචනය කරමින් හා අභයගිරි ආදී මත බැහැර කර පිරිසිදු මහා විහාරීය සම්ප්රදාය හා ථේරවාදී විනය නය මැනවින් තහවුරු කරමින් ලියැවුණු ප්රශස්ත ටීකාවක් ලෙස මෙය සැලකේ.
මෙම කෘතිය රණගිරිලෙන් වාසී අතිපූජනීය නුවරඑළියේ ඤාණසීල මහාස්ථවිරයන් වහන්සේ විසින් පාලි භාෂාවෙන් සිංහලයට පරිවර්තනය කොට ඇති අතර, බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයේ ටීකා ග්රන්ථ මාලාවේ 23 වන අංකය ලෙස ප්රකාශයට පත් කර ඇත.
ප්රස්තාවනා
ටීකා.
“පරියත්ති සාසනම්පි තෙපිටකං බුද්ධ වචනං සාට්ඨකථාපාලි” පර්යාප්ති ශාසනය නම් ත්රිපිටක බුද්ධ වචනය හෙවත් අටුවා සහිත පෙළයි.
“තෙපිටකං බුද්ධවචනං පරියාපුණි තබ්බතො, පරියත්ති අනුසාසනතො. සාසනන්ති කත්වා පරියත්ති සාසනන්ති වුච්චති”
ත්රිපිටක බුද්ධ වචනය පුහුණු කටයුතු, ඉගෙන ගත යුතු සජ්ඣායනා කටයුතු වාචෝද්ගත වශයෙන් දරාගත යුතු යන අර්ථයෙන් පර්යාප්තියයි ද, විනෙය ජනයාට උතුම් අනුශාසනයක්ය සත්පුරුෂයන්ට උතුම් අනුශාසනා දේශනාවක්ය යන අර්ථයෙන් ශාසන නම් ද වේ. සියලු බුද්ධ වචන රාශිය පර්යාප්ති ශාසනයයි.
මෙම පර්යාප්ති ශාසනය චිරාත් කාලයක් පවත්වා ගෙන යාම සඳහා මහා කාශ්යප මහ රහතන් වහන්සේ ප්රධාන මහ රහතන් වහන්සේලා විසින් සංගායනා පවත්වන ලදී.
ශාසනයට යම් යම් විපත්තිත් පැවති අවස්ථා වලදී දෙවැනි තුන්වැනි සංගායනා ද රහතන් වහන්සේලා විසින් කරන ලදී.
භාග්යවතුන් වහන්සේ ධරමාන කාලයේම දඹදිව මාගධී ව්යවහාරය අහෝසි විය. මහ රහතන් වහන්සේලා ප්රකීර්ණක දේශනා වශයෙන් කට පාඩමින් ත්රිපිටකය රැකගෙන ආහ. එම ත්රිපිටකය මිහිඳු මාහිමියන් විසින් මෙහි ගෙන එන ලදුව.
ත්රිපිටකයේ දුරවබෝධ තැන් සුබෝධ කරමින්, වඩාත් නිවැරදිව පහසුවෙන් වටහා ගැනීම සඳහා සිංහල මහ රහතන් වහන්සේලා විසින් මිහිඳු මාහිමියන්ගේ ගුරුපදේශයෙන් හෙළටුවා ලියූහ. හෙළටුවා 19 ක් ගැන නාමමාත්රිකව හෙළි වී ඇත. භික්ෂූන්ගේ පරිභෝගයේ පැවති මෙම හෙළටුවා බුද්ධ වර්ෂ 953-975 මහානාම රජු දවස ලක්දිව වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට නගන ලදී.
මේ අනුව ත්රිපිටක බුද්ධ වචනය ලංකාවට ගෙන ඒම, එම ත්රිපිටකය සඳහා හෙළටුවා ලිවීම, එම හෙළටුවා පාලි භාෂාවට නැගීම, ත්රිපිටකය සහ අටුවා පුස්කොළ පොත් වල ලිවීම. මේ සියල්ල අනුරාධපුර යුගයේ දී සිංහල රජවරුන්ගේ දායකත්වයෙන් මහ සඟරුවනේ කැප වීමෙන් සිදු කෙරුණු බව ඉතිහාස නයින් ඔප්පු වේ.
දක්ෂිණ භාරතීය ආක්රමණ, අනුරපුර ආර්ථිකය පිරිහීම, අනුරපුර යුගයේ අවසානයේ දුර්වල රජවරුන් බිහි වීම ආදී හේතූන් සම්භාරයක් නිසා අනුරපුර රාජධානිය බිඳ වැටී අපේ සිංහල රාජධානිය පොළොන්නරුවට මාරු විය. සිංහල රාජධානි නිරිතිදිගට සංක්රමණය වීමේ පළමු වන පියවර එය විය.
ක්රි. ව. 1017 පටන් ක්රි. ව. 1235 දක්වා කාලය පොළොන්නරු යුගය වශයෙන් හැඳින්වෙයි. මෙම යුගයේ සිටි ප්රතාපවත් මහ රජ පළමුවන පැරකුම්බා මහ රජය. පර සතුරු උවදුරු දුරු කොට ලංකාව එක් සේසත් කළ මහ පැරකුම්බා රජ, බුදු සසුන ආරක්ෂා කිරීමේ මහා පුණ්ය කර්මය දෙසට යොමු විය. මේ වන විට සඟ සසුන කොටස් කිහිපයකට කැඩී බිඳී වෙන් වී පැවතිණි. පැරකුම්බා රජ සියළු සංඝයා කැඳවා සංඝ සම්මේලනයක් පවත්වා, තුන් නිකාය එක් කොට, පොළොන්නරු කතිකාවත පනවා, ඒ කතිකාවත අනුව මහණදම් රකින්නට අපොහොසත් අය සිවුරු හරවා ඔවුන්ට රාජ්යයේ රැකියා ලබා දුන්නේය.
මේ සඟ සමුළුවේ දී ගත් එක් වැදගත් තීරණයක් වූයේ අටුවා කතා වලට ටීකා සැපයීමයි.
“ටීකා” යනු අටුවාවන්හි ගැටළු තැන් විස්තර කිරීම පැහැදිලි කිරීම සඳහා ලියැවුණු පොත්ය. ලීනත්ථප්පකාසිනී, ලීනත්ථ වණ්ණනා යන වචන ටීකා කරණය සඳහා පාවිච්චි කර ඇති වචනයි. “ලීනත්ථ” යන්නෙන් අදහස් කර ඇත්තේ සැඟවුණු තේරුම්, සැඟවුණු අර්ථ යන්නයි. ඒ අනුව අටුවාවල සැඟවුණු තේරුම්, සැඟවුණු අර්ථ පැහැදිලි කිරීම ටීකාවන්හි කාර්යයි. පරමාර්ථයයි. අනුරපුර යුගයේ සිට පැවත ආ මහා විහාර අධ්යාපන ක්රමයේ දෙවන මූල ධර්මය ටීකාකරණය වන්නේය.
ඉහත සඳහන් කළ මහ පැරකුම්බාවන්ගේ ශාසන සංශෝධන සංඝ සභාවේ මුලුසුන ගත්තාහු දිඹුලාගල කාශ්යප මහ තෙරණුවෝය. දෙවැනි තුන්වැනි තැන් ගත්තේ ටීකාචාර්ය සාරිපුත්ත හා මොග්ගල්ලාන මාහිමිවරුන්ය. මේ අනුව දිඹුලාගල කාශ්යප මාහිමියෝ අසම සම ටීකාචාර්යවරයාණෝය.
උන්වහන්සේ මහා සාමි - සංඝරාජ පදවිවලින් පැරකුම්බා රජු විසින් පුදනලදහ. උන් වහන්සේගේ ශිෂ්යයාණෝ සාගරමති සාරිපුත්ර ස්ථවිරයාණෝය.
පොළොන්නරුවේ පැවති ජේතවනාරාම පිරිවෙන ටීකා ක්රමය උගත් වූ කේන්ද්රස්ථානය විය. සාගරමති ශ්රී සාරිපුත්ත හිමියෝ මෙය පිහිටු වූහ. ටීකා ලිවීම සඳහා භික්ෂූන්ට පැවරූ පැරකුම්බා රජ ඒ සඳහා ශාලා දෙකක් කරවීය. ටීකා ලිවීමට අවශ්ය පුස්කොළ, පන්හිඳ ආදී සියලු උපකරණ ද සිවුපසය ද රජය මගින් සම්පාදනය කරන ලදී. එහි ආවතේව කළ ශිෂ්යන්ට රජයෙන් වැටුප් ගෙවන ලදී.
දිඹුලාගල කාශ්යප මාහිමියන් විසින් සමන්තපාසාදිකාවට විනයට්ඨමංජූසා විනය ටීකාව ලියන ලදී. අභිධම්මත්ථ සංගහ ටීකාව සාගරමති සාරිපුත්ත තෙරුන් විසින් ලියන ලදී. මහින්ද සේල පිරිවෙනේ ත්රිපිටක වාචිස්සර හිමි පටිසම්භිදා මග්ග ටීකා ද, චෝළ කුලාන්ත හිමි විනයත්ථමඤ්ජූසා කංඛාවිතරණී ටීකාව ද ලියූහ. සමහරවිටක පොත් වල කොටස් සඳහා ද ටීකා ලියා ඇත. දීඝනිකායේ සීලක්ඛන්ධ වර්ගයට පමණක් ලියූ ටීකාවක් වේ. අට්ඨසාලිනියේ ආරම්භක ගාථා 20 ට පමණක් ලියූ වීසති වණ්ණනා නම් ටීකාවක් වෙයි. චෝළිය කාශ්යප මහ තෙරුන් විසින් විමති විනෝදනී විනය ටීකාව ලියන ලදී. භදන්තාචරිය ධම්මපාල මහ තෙරුන් විසින් විසුද්ධි මග්ග ටීකාව ලියා ඇත. භදන්තාචරිය ධම්මපාල මහ තෙරුන් විසින් ලීනත්ථ මඤ්ජුසා දීඝනිකාය ටීකාව ලියන ලද්දේය.
මේ අන්දමට කුශාග්ර බුද්ධිමත්, ප්රඥා පාටවයෙන් යුත් මහා ස්ථවිරයන් වහන්සේලා විසින් ලියන ලද ටීකා ග්රන්ථ වසර 900 ක් පමණ කාලයක් අපේ පැරණි විහාර පොත් ගුල් ආදියේ තැන්පත් කර ආරක්ෂා කරගෙන පැවතියේය. කාලයක් තිස්සේ මෙම ටීකා පරිහරණයෙන් ඈත් වී පැවතිණ.
බුදු දහම පරපුරෙන් පරපුරට ගෙනයාම අපේ කාලයේ දී සිදු විය යුතු වගකීමක් හැටියට සලකන බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය ව්යවහාරයෙන් පරිහරණයෙන් කලක් ඈත් වී පවත්නා මෙම ටීකා සිංහලට පරිවර්තනය කර මුද්රණය කිරීමට අදිටන් කළේය. අපගේ මූලික පරමාර්ථය හා ක්රියා මාර්ගය වී පවතින්නේ පිරිසිදු ථේරවාදී ධර්ම මධ්යස්ථානය අංශ සම්පූර්ණව පිහිටු වීමයි. ඒ සඳහා අපි බුද්ධ ජයන්ති ත්රිපිටකය පුනර් මුද්රණයෙන් පළ කළෙමු. දෙවනුව සූත්ර පිටකය සරල සිංහලට අනුවාදනය කොට පළ කළෙමු. තෙවනුව අට්ඨකථා (අටුවා) හතළිස් නවයක් සිංහලට පරිවර්තනය කර මුද්රණය කර ජනතාවට පිරිනැමීමු. දැන් අපි පාලි අටුවාකථා සියල්ල ඉංග්රීසියට පරිවර්තනය කොට මුද්රණය කොට ලෝක බෞද්ධ ජනතාවට පිරිනැමීමේ කාර්යයට පියවර තබා ඇත්තෙමු. ටීකා ග්රන්ථ සියල්ල සිංහලට පරිවර්තනය කර පර්යාප්ති ශාසනය අඩු පාඩු රහිතව ස්ථාවර කිරීමට පියවර තබා ඇත. අට්ඨකථා පාලි පෙළ හා ටීකා පාලි පෙළ වියතුන් ලවා අධීක්ෂණය කොට මුද්රණය කරවීමට ද පියවර ගෙන ඇත. මේ සියල්ල අපෙන් සිදු වනුයේ ථේරවාදී ත්රිපිටක ධර්මය ශ්රී ලංකාවේ ස්ථාවරව පිහිටු වීමේ නිරාමිෂ ප්රීතිය සඳහාමය.
බොහෝ විට ත්රිපිටක ධර්මය වියතුන් යැයි සිතා ගත් පණ්ඩිතමානීහු තම තමන්ට රුචි පරිද්දෙන් විස්තර කරති. එයට හේතුව ඒවායේ මූලික හරය වටහා නොගැනීමයි. එය අවබෝධ කළ හැක්කේ අටුවා ටීකා මගිනුයි. අටුවාවල අනවබෝධ වචන ටීකා වලින් පැහැදිලි කෙරේ. ඒ මගින් වැරදි අර්ථ කථන දුරු කළ හැකි වේ. ටීකා සිංහලට පරිවර්තනය කිරීම බුද්ධ ශාසනය වශයෙන් අගය නිම කළ නොහැකි සේවාවකි. බුදු දහම පිළිබඳව ශ්රද්ධාව පැහැදීම වැඩි දියුණු වන්නේ බුදු දහමේ හරය අවබෝධ කර ගැනීමෙනි. බුද්ධ වචන විකෘති කර දක්වමින් ආගමේ නාමයෙන් ව්යාපාර පවත්වා ගෙන යාම ද, නවත්වා ලිය හැක්කේ අටුවා ටීකා පරිවර්තනය තුළිනි. එය ද මහත් ශාසනෝපකාරයකි.
මෙම ටීකා මුද්රණයේ දී පුණ්යානුමෝදනා කළ යුතු කීප පලක් ඇත. දුර්ලභ ටීකා පොත් සොයා ගැනීමේ දී එම පොත් අපට ලබා දීමට උපස්ථම්භක වූ දොඩන්දූවේ පොල්ගස් දූවේ ආරණ්ය සේනාසනයේ සියලු ස්වාමීන් වහන්සේලාට ද පුස්කොළ ටීකා පොත් හා මුද්රිත ටීකා පොත් ද සපයා දුන් පානදුර වලපොල සද්ධර්මෝදය පිරිවෙනේ අධිකාරී අරියසිරි ස්වාමීන් වහන්සේට ද පූජ්ය හංවැල්ලේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේට ද අපගේ පුණ්යානුමෝදනා ස්තුතිය පිරිනමමි.
ටීකා පරිවර්තනය සඳහා සහ අධීක්ෂණය සඳහා කැප වන සියලුම ස්වාමීන් වහන්සේලාට හා මහත්වරුන්ට ද මෙම උතුම් පින්කමේ පින් අනුමෝදන් කරමි.
ටීකා පරිවර්තනය කර මුද්රණය කරවීම සඳහා ද ඇප කැප වන, බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයේ සියලු සේවක මහත්ම, මහත්මීන්ට ද, පරිගණක, මුද්රණ ආදී කටයුතු මෙහෙය වන සියලු දෙනාට ද අපගේ ස්තුතිය හිමි වේ.
මෙසේ මෙම පුණ්ය කර්මයට අත හිත දීමෙන් සම්මාදම් වන සකල සාධූන්ටම මෙම මහා කුශල කර්මයේ පින් පුරවමින් දිගාසිරි පතම්හ.
කිරම විමලජෝති ස්ථවිර.
සභාපති - බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය.
පෙරවදන
‘විනයො නාම සාසනස්ස ආයු’ යන සංගීතිකාරක වදන පෙරදැරන් විසින් විනයට දැක්වූ ගරුත්වයේ තරම කියා පායි. ඒ තරමටම පුරාතනයේ භික්ෂූහු විනය සම්බන්ධව මහත් සැලකිල්ලක් දැක්වූහ. ඒ මතු ද නොවෙයි. මේ ලක්දිව ද පැරණි ඇදුරු උතුමෝ මෙබඳුම උනන්දුවක් විනයෙහි ලා දැක්වූහ. උපතිස්ස මහා ඇදුරු පාණන්ගේ අතවැසි වූ මහාපදුම හා මහාසුම්ම යන තෙරවරුන්ගේ කථා ප්රවෘත්තිය මීට නිදර්ශන වෙයි. මහාපදුම හා මහාසුම්ම යන තෙරවරු දෙනමම එක්ව උපතිස්ස මහ ඇදුරුපාණන් වෙතින් නව වාරයක් විනය කියවා හදාරා මහා සුම්ම තෙරපාණෝ ඇදුරුපාණන් හැරපියා සේරිවාරි වීම සම්බන්ධව මහා පදුම තෙරපාණන් කළ ප්රකාශය විස්මිතය.
‘සුරො වත රෙ එස විනයධරො යො ආචරියෙ ධරමානෙ අඤ්ඤත්ථ වසිතුං මඤ්ඤිත්ථ නනු ආචරියෙ ධරමානෙ අනෙකක්ඛත්තුං විනයපිටකං සුත්වා ච න විස්සජ්ජෙතබ්බං. අනුසංවච්ඡරං සජ්ඣායිතබ්බං’ යැයි කළ ගරිහාව විනය සම්බන්ධව දැක්වූ ගරුත්වයේ සංකේතයක් බඳුය.
පිළිවෙලින් උපාලි, දාසක, සොණක, සිග්ගව, මොග්ගලිපුත්තතිස්ස යන මහ රහත් ඇදුරු පරපුර විසින් දඹදිවත්, ඉන් මත්තෙහි මහා මහින්ද තෙරපාණන් විසින් ලක්දිවට ගෙනෙන ලදුව, එතැන් පටන් අරිට්ඨ, තිස්සදත්ත, කාලසුමන, දීඝසුමන ආදි සිංහල මහ රහත් ඇදුරු පරපුර විසින් මේ ලක්දිව් තලයෙහිත් අතිශය වුවමනාවකින් විනය පිටකය රැකගත් බව නො රහසකි. එසේ කළෝ “විනයො නාම සාසනස්ස ආයු” නිසාමය.
උන් වහන්සේලා වෙතින් සුරැකුණු විනය පිටකය වනාහි දේශනා පාලියත් තද් අර්ථකතාවත් ය. එබැවින් අට්ඨකථා යනු සංගීති කාරක මහ රහත් ඇදුරුතුමන් වෙතින් බුද්ධ වචනය ම යැයි පිළිගනු ලැබූ ථේරවාදීන් අතට පත් විස්තාර ධර්ම විනිශ්චය බව අති දීර්ඝ කාලාන්තරයෙහි වූ පිරිසිදු ථේරවාදීන්ගේ පැහැදිලි පිළිගැනීමයි. මෙයට විරුද්ධව කරුණු දක්වන්නන් ද දැකිය හැකි නමුත් එම විපරීතය, පිරිසිදු ථේරවාදයට පටහැනි බැවින් සාර වශයෙන් ගතයුතු නොවේ. “භගවතාහි තත්ථ තත්ථ පවත්තිතා පකිණ්ණක දේසනා අට්ඨකථා නාම” යන වදනට අනුව ථේරවාදීන්ගේ පිළිගැන්ම සාධනයෙන් ස්ථුටය. “අට්ඨකථාව නම් ඒ ඒ තැන භාග්යවතුන් විසින් පවත්වන ලද විග්රහ දේශනයය” යනු එහි තේරුමය.
මහානාම රජු දවස භදන්තාචරිය බුද්ධඝෝෂ ඇදුරුපාණන් විසින් සිංහල බසින් පෙළ බසට පරිවර්තනය කරන ලද්දේ එම අට්ඨකථාවම ය. මාගධියට පරිවර්තනය කරන ලද එම අට්ඨකථාව සමන්තපාසාදිකා නමින් ව්යවහාරයට පැමිණියේය. ඒ අනුව සමන්තපාසාදිකාව වනාහි මහාකාශ්යප මහරහත් ආදී පෞරාණික ඇදුරු පරපුර විසින් පිළිගත් විනය ප්රකීර්ණකය මිස හුදු බුද්ධඝෝෂ ඇදුරුපාණන්ගේ ස්වයං රචනයක් නොවන බව පිළිගැනීම යුක්ති යුක්තය. බුද්ධඝෝෂ ඇදුරුපාණන් විසිනුදු මෙම කටයුත්ත කරන ලද්දේ එවකට මහාවිහාරීය ථේරවාදී පරපුරේ සංඝ ස්ථවිර වූ සංඝපාල මහ තෙරන් වහන්සේ යටතේ බව ද අමතක කළයුතු නොවේ.
අනුක්රමයෙන්, පරාක්රමණ හා මිසදිටු රාජ්ය නායකත්වාදී විවිධ හේතූන් මත අනුරපුර රාජධානි ශ්රී විභූතියේ අඳුරු සෙවනැලි වැටෙන්නට වූයෙන් සාසනික වශයෙන් ද සිදුවූ අයහපත් වාතාවරණය මත එකල වැඩ සිටි දූරදර්ශී මහ තෙරවරු ධර්මවිනය රැක ගැනීමට විවිධ ක්රමෝපායන් යෙදූහ. අනාගතයෙහි ධර්ම විනය සම්බන්ධ වියතුන් මඳ වුවහොත්, මහා විහාරීය පරපුර විසින් රැකගත් පිරිසිදු ථේරවාදී ධර්ම විනය අභයගිරික, මහායානාදි විපරීත මතයෙන් දූෂිත වීමේ ප්රවණතාවය බහුල විය. ඒ වන විට ද අභයගිරිකාදී ඇතැම් මතයක් ස්ව මතයෙකැයි වරදවා ගත් තැන් ඇතැම් ථෙරවාදීන් තුළද එහෙත් මෙහෙත් නොතිබුණාම නොවේ යන්න ඉතිහාසය හොඳින් දන්නෝ දනිති. කෙසේ වුවත් මේ අභාග්ය සම්පන්න තත්ත්වයේ පෙර නිමිති හඳුනාගත් දූරදර්ශී උතුමෝ අට්ඨකථාගත ගැඹුරු අරුත් ලිහිල් කෙරෙන ගැටපදාදි ප්රකරණ කළහ.
ඒ අනුව සමන්තපාසාදිකා නම් විනයට්ඨකථාවට අදාළව ගැටපද තුනක් බිහිව පැවති බව ‘වජිරබුද්ධි’ නම් විනය ටීකාවෙහිත් අන් තැන්හිත් සඳහන්ව ඇත. එනමුදු අද එහි ශේෂව ඇත්තේ නාමමාත්ර පමණකි. ගැටපදයන්හි පැවති විනිශ්චය වත්මන හා සසඳන කළ අති සංක්ෂිප්ත හා ගාම්භීරත්වයෙන් යුතු වූ බව වජිරබුද්ධියෙහිම එන ඇතැම් පාඨ වලින් පැහැදිලි වෙයි. ‘වජිරබුද්ධි’ නම් ටීකාවෙහි සම්භවයද එහි පැවති අති සංක්ෂිප්ත බව නිසාමය.
එනමුදු ශීඝ්රව සිදු වූ භික්ෂු සමාජයීය උප සංස්කෘතියේ පෙරලිය නිසාදෝ වජිරබුද්ධි ටීකාවෙහි විස්තර පවා සංක්ෂේප බව ඉක්මවීමට නොහැකිව එයද සංක්ෂිප්ත ලීනාර්ථපද ගණයෙහිලාම සළකන්නට වැඩිකල් නොගොස්ම සිදුවූ බව පෙනේ. එනමුදු අන්තර්ගතය සලකන විට, එය අති විශිෂ්ට ලීනාර්ථ පද ප්රකාශයක් බව ඉන්පසු විරචිත සෑම විනයටීකාවකම එහි අන්තර්ගත කරුණු සම්බන්ධව දක්වා ඇති සම්භාවනයෙන් පැහැදිලි වෙයි. වජිරබුද්ධි විවරණය පසුකාලීන කිසිදු ඇදුරුවරයෙකු විසින් අභියෝග යකට බඳුන් කොට නැත. ඒ තරමටම එහි අන්තර්ගතය මහා විහාරීය ස්ථවිර ප්රවේණියට අනුකූලය. කෙසේ වුවද විනය කෝවිද භික්ෂූන් විරල වෙත් වෙත්ම වඩා වඩාත් අවිස්තර නයින්ම ලීනාර්ථපද විවරණ අවශ්ය වූ බැවින් වජිරබුද්ධියෙන් සිදු කළ අර්ථය ප්රමාණවත් නොවීය. එබැවින් ප්රාථුල විස්තර නයක් සහිත සාරත්ථදීපනී නම් විනය ටීකාවක් පොළොන්නරු යුගයේ 12වන ශතවර්ෂයේ දී පමණ සාරිපුත්ත නම් තෙරණුවන් කෙනෙකුන් අතින් විරචිත විය. වජිරබුද්ධිය හා සසඳන කළ සාරත්ථදීපනියෙහි අන්තර්ගත කරුණු සමකාලීනව ලියැවුනු අන් ටීකාවන්හි දරුණු ලෙස විවේචනයට බඳුන් කොට ඇත්තාහ. ඒ තරමට ම එහිලා මහා විහාරීය මතවලට පටහැනිව අභයගිරිකාදි මත ස්වමත යැයි සළකමින් මිශ්රව ලියා ඇති බව විමතිවිනෝදනී විනයාලංකාර ආදි සමකාලීනව හා පසුකාලීනව ලියැවුනු අන් ටීකාවන්හි කාරණා සහිතව විස්තර කරමින් පැහැදිලිව පෙන්වා දී ඇත. එපමණක් නොව ඉන් පසු මේ ලක්දිව එකලත්, මෙකලට ආසන්නවත් වැඩ විසූ ධර්මධර හා විනයධර මහ ඇදුරුවරුන් පවා මේ ආකල්පයේම විසූ බව ග්රන්ථාන්තරයෙන් සාධනය වෙයි.
බේරුවැල්වෙ ධම්මාධාරතිස්සාභිධාන මහ තෙරපාණන් අතින් ශෝධිතව සිංහල අකුරින් මුද්රිතව පලකළ විමතිවිනෝදනී ටීකාවට අදාළ පෙරවදනෙහි ලා තෙරපාණන් විසින් ‘සාරත්ථදීපනී නාම ටීකා අතිවිත්ථාර ගතා විනයත්ථාවගමෙ නියුත්තානං විහෙසාය වත්තතෙ. තාහි ද්වීහියෙව ටීකායෙහි විනයස්ස සුඛාවගමො න හොති. ඉති තාසං අත්ථාභිමුඛං අප්පවත්තිතො චෙව අඤ්ඤමඤ්ඤ විසදිසට්ඨානානං විපරීතානන්තතා ච තා පන විනෙයෙ විමතිං විනොදෙතුං අසමත්ථා හොන්ති. තස්මා ඤාණිකා නුදන්ති අතික්කමන්ති විනයෙසෙචනායාති විමතිවිනොදනීතන්යනවත්ථසඤ්ඤාය සමුල්ලසිතා විනයොදධිත්ථරණෙ තරණිබද්ධසො සමන්තපාසාදිකාය විනයට්ඨකථාය නිම්මලායං ටීකා භදන්තාචරියෙන චොළිය කස්සප මහාථෙරෙන විනයටීකාදීනං සාරං ආදාය සබ්බෙපරූපෙන විරචිතා හොන්ති’ යැයි සාරාත්ථදීපනිය සම්බන්ධව කළ සඳහනත්, විමති විනෝදනී ටීකාවට අදාලව කළ පැසසුමත්, මැදකාලීන ධර්මධර විනයධර මහ ඇදුරුවරුන්ගේ ආකල්පය පිළිබඳ එක් සාක්ෂියකි. ඒ අනුව සාරාත්ථදීපනි නම් ටීකාව එදාමෙදාතුර වූ පරම්පරාගත ආචාර්යවරුන් විසින් එතරම් සම්භාවනයකට ලක්කොට නැත.
මහා විහාරීය ස්ථවිර මතවලට පටහැනිව අභයගිරිකාදි මත ස්වමත යැයි සලකමින්, ස්වමත හා පරමත මිශ්රව, ඇතැම් විටක අට්ඨකථාවට පවා විරුද්ධව යමින් කළ සාරාත්ථදීපනියෙන් වියහැකි අනර්ථය වටහාගත් චොළ දේශයෙහි වාසය කළ, මහා විහාර වංශය ආලෝකමත් කළ, සුපේශල ගුණෝපෙත ධර්ම විනයෙහි කුශාග්ර බුද්ධියකින් යුතු වූ, සුපිරිසිදු ථේරවාදී මතධාරී කාශ්යප නම් මහා තෙර කෙනෙකුන් විසින් සාරාත්ථදීපනියෙහි එන දුර්මත: පෙළ, අට්ඨකථා හා සතර මහාපදෙස නයින් නිශ්ප්රභා කර, පිරිසිදු මහා විහාරීය විනය නය විග්රහ කරමින්, අති විස්තාර නොවුත් අති සංක්ෂේප නොවුත් ප්රාමාණික ලීනාර්ථ පද විවරණයක් සැපයූහ. එය නමින් විමතිවිනෝදනී නම් වෙයි. කර්තෘ චොළිය කස්සප නම් වෙයි. රචිත කාලය 12 වැනි ශත වර්ෂයමය. විමතිවිනෝදනිය පමණක් නොව වජිරබුද්ධි හා සාරාත්ථදීපනීටීකාවන්හිද රචිත කාලය 12 වැනි ශත වර්ෂයමය.
ලක්දිව විසූ ඇතැම් ධර්මධර විනයධර සුපේශල ශික්ෂාකාමී මහතෙරවරු දක්ෂිණ භාරතයෙහි මහා විහාරවල අධිපතිත්වය දරමින් වාසය කළබව ඉතිහාස ගත කරුණු ප්රකට වෙයි. දෙමළ ආක්රමණිකයෝ මෙහි පැමිණ කලින් කලට කරන ලද ව්යසන හේතුවෙන් මෙහි සසුන් තත්ත්වයට තර්ජන එල්ල වූ විට මෙහි ඇතැම් ධර්මධර විනයධර මහතෙරවරු සොළී රටට වැඩම කොට එහි චොඩගංග මහ රජතුමා විසින් කරවන ලද පෙරම්පල්ලි නම් වූ මහා වෙහෙරෙහි වැඩ විසූ බව උපාසක ජනාලංකාර නම් කෘතියෙහි සඳහන් ව ඇත. ඇතැම් විට උන් වහන්සේලා චෝල දේශ නාමය පූර්ව කොට හඳුන්වා ඇත්තාහ. රූපසිද්ධි නම් ප්රසිද්ධ පාලි ව්යාකරණ ගත්කරු වූ චොළිය බුද්ධප්පිය මහ තෙරපාණෝ ලක්දිව පොළොන්නරු යුගයේ විසූ කීර්තිමත් තෙරනමක් වූ ආනන්ද වනරතන මහ තෙරපානන්ගේ ශිෂ්යවරයෙකි. උන් වහන්සේ චෝළ දේශයෙහි මහා විහාරයක ආධිපත්ය දැරූ බවත් ලාංකීය භික්ෂුවක් බවත් චෝළ දේශයෙහි මහා විහාරයක ආධිපත්ය දැරූ හෙයින් ම චෝලිය බුද්ධප්පිය නමින් හැඳින් වූ බවත් ප්රකට කරුණකි.
දෙමළ ආක්රමණිකයෝ මෙහි පැමිණ කලින් කලට කරන ලද ව්යසන හේතුවෙන් මෙහි සසුන් තත්ත්වයට තර්ජන එල්ල වූ විට මෙහි ඇතැම් ධර්මධර විනයධර මහා තෙරවරු සොළී රටට වැඩම කොට එහි චොඩගංග මහ රජතුමා විසින් කරවන ලද පෙරම්පල්ලි නම් වූ මහා වෙහෙරෙහි වැඩ විසූ බව උපාසක ජනාලංකාර නම් කෘතියෙහි සඳහන් ව ඇත්තේ මෙසේය.
සිරිවල්ලභනාමෙන විසසුතෙ පවරෙ පුරෙ සද්ධා මහද්ධනො පුබ්බෙ විසාලකුලසමභවො ලොකුත්තමොති පඤ්ඤාතො ආසියො භිකඛු තෙනතු ජිනසාසනමෙපෙතුං දනෙනාවාදෙ සුසංයිතො පණ්ඩුභූමණ්ඩලෙ යොභුවඤ්ඤා සාමනතභූමිපො සච්චසනෙදා නයෙදකෙඛා චොළගංගොති විස්සුතො තෙන කාරාපිතා රම්මා විහාරා චාරුදසසනා තයො ආසුං මහිකනතා කිරීටමිව භාසුරා යො තෙසං පවරො ආසි විහාරො චාරුදසසනො සීතලුදක සම්පනෙනා නනාදුම ගණාලයො අනෙකජනසම්මොද - නයනාලිසමාගමො තසස කිත්තලතාපුප්ඵ - මඤ්ජරී විය භාසුරො තිදසාලයනිසෙසස විය ජනතුපරායණො අසාපහරණො රම්මො එර ඉති විස්සුතො ගුණාකරො පෙරමපලි ඉති විඤ්ඤූහි දසසිතො ලංකාදීපම්හි සකලෙ දමිළානලසමාකුලෙ ආගතා පාතුමත්තානං භුයො සාසනවුද්ධියා තමබපණණිදජා ථෙරා සදා සද්ධමමගොචරා ආගමං අනුරකඛනතා යසමිං වාසමකපපයුං තසස පුබ්බුත්තරෙ රම්මෙ පාසාදෙ වසතා මයා රචිතොයමලංකාරො සදා සජ්ජනරඤ්ජකො
මෙයින් ලංකා ඉතිහාසයේ හා සාසන ඉතිහාසයේ අප්රකට කරුණු කිහිපයක් ම එළිදරව් වන බවද පෙනේ.
විමති විනෝදනී ටීකාව ලියැවුණු තැන් පටන් එය ශික්ෂාකාමී විනයධරයන් විසින් මේ ලක්දිව් තලයේ පමණක් නොව බුරුමය තායිලන්තය ආදී රටවලත් අත්යන්තයෙන් සම්භාවනාවට පාත්රකොට ඇත. පාලි මුත්තක විනය විනිශ්චය නම් පුරාතන ග්රන්ථයට ටීකා කළ බුරුම රට රතනාපුරයෙහි තිරිය නම් පර්වතවාසී රාජගුරු තෙපිටකාලංකාර යැයි රාජ සම්මානිත ශ්රී මුනින්දඝෝෂ මහා ස්වාමීන් එම විනයාලංකාර නම් විනය ටීකාවෙහි විමතිවිනෝදනී මත සම්බන්ධව දක්වා ඇති පිළිගැනීම හා සම්භාවනය මෙයට හොඳම නිදසුනකි.
ඒ මේ විමතිවිනෝදනී ටීකාව මේ දක්වා පැවතියේ මාගධී භාෂාවෙන්මිය. අවම තරමේ එයට ලියවුණු භාවාර්ථයකුදු දක්නට නැත. පාලි භාෂාවෙහි දක්ෂ නොවුුවන්ට එබැවින් එයින් එතරම් ප්රයෝජනයක් ලද නොහැකිය. සියල්ල හෙළ බසට නැන්වෙන මෙවැනි කාලයක විමතිවිනෝදනීය පමණක් ඒ පෙරළියට හසුනොවී සිටීමේ යුක්තියක් ද පෙනෙන්නේ නැත. එබැවින් තද් කර්තව්යයෙහි ලා රණගිරිලෙන් වාසි නුවරඑළියේ ඤාණසීල ස්ථවිරයන් ව්යාවෘත වීම කාලීන අවශ්යතාවක් සේම සුදුස්සෙකු අතින් සුදුසු වැඩක් වීමක් සේද සළකම්හ. පරිවර්තනය වනාහි අභිනවයෙන් ග්රන්ථයක් කිරීමට වඩා අපහසු දෙයකි. ග්රන්ථයට අදාල විෂයෙහි පරිවිත ඥාණයක් නැතිනම් වඩාත් ගැටළු ඇති වීමට එය බලපානු ඇත. සෑහෙන කලක පටන් බොහෝ පැවිදි සිසුනට පුරාතන ආරාමික අධ්යාපන රටාවක පිහිටා සිට විනය පිටකය හැදෑරවීමෙහි නිරතව සිටින ඤාණසීල ස්ථවිරයෝ තද්ව්යාපාරයට අතිශය සුදුස්සෙකු බව අවධාරණය කරන ලද්දේ එහෙයිනි.
චිරං තිට්ඨතු සම්බුද්ධ සාසනං
මහාචාර්ය අත්තංගනේ රතනපාල නායක මහා ස්ථවිර
අධිකරණ ලේඛකාධිකාරී - ශ්රීලංකා රාමඤ්ඤ මහා නිකාය
(සමාධි සදහම් නිකේතනය - අලුත් මල්කඩුවාව - කුරුණෑගල)
සංඥාපනය
පළමු, දෙවන, සහ තෙවන ධර්ම සංගායනාවන්ගෙන් සුසංගෘහිත තථාගත ශ්රී සද්ධර්මය ලක්දිව පිහිටුවන ලද්දේ මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. උන්වහන්සේගෙන් ධර්ම විනයෝද්ග්රහණය කළ අරිට්ඨ, තිස්සදත්ත, කාලසුමනාදී ධර්ම විනයධර මහරහත් ථේර පරම්පරාව සහ තදනුයාත ශිෂ්ය පරම්පරාව විසින් ධර්ම විනයෙහි සුරක්ෂිතභාවය පිණිස තම යුතුකම හා වගකීම මැනවින් කාලාන්තරයෙහි ඉටුකරන ලදී.
එසේ වත්මන් පරපුර වෙත ලැබුණු තථාගත සද්ධර්මය තෘතීය ධර්ම සංගායනා කථාවෙහි ආ “සඛං ථෙරවාදන්ති ද්වෙ සවගීතියො ආරූළ්හා පාලි. සා හි මහා සඞ්ඝිකාදී භින්නලද්දිකාහි විවෙචෙතුං ථෙරවාදො’ති වුත්තා. අයඤ්හි විභජ්ජවාදෝ මහා කස්සපත්ථෙරාදීහි අසවකාරතො රක්ඛිතො ආනීතොවා’ති ‘ථෙරවාදො’ති වුච්චති.” යන ග්රන්ථාන්තර නයින් “ථේරවාදී” නම් වන්නේය.
මහින්දාගමන සමයෙහි දෙවන පැතිස් මහ රජු විසින් මහසඟරුවනට පළමු කොට වාසය පිණිස පූජා කළ මහා මේඝවර්ණ උද්යානයෙහි පිහිටි තිස්සාරාමය මූලික කොට අනුරාධපුරය හා තදසන්න ප්රදේශ වලත් ලක්දිව පුරාවටත් මහා භික්ෂු පිරිසක් වාසය කළ අතර පසු කාලීනව අභයගිරිය හා ජේතවනාරාමය මුල්කොට හටගත් චෛතුල්යය, අභයගිරික හා සාගලිකාදී විපරීත මත දරන භික්ෂු සමූහය වෙතින් පිරිසිදු ධර්ම විනය දැරූ භික්ෂු සමූහය වෙන්කොට හඳුනා ගැනීම පිණිස අනුරාධපුර මූල තිස්සාරාමය ‘මහාවිහාරය’ ලෙසත් තදනුයාත භික්ෂු පිරිස හා පිරිසිදු ධර්ම විනය පරම්පරාව ‘මහා විහාරීය පරපුර’ ලෙසත් ප්රචලිත විය. මෙකී තිස්සාරාමය රෝහණයෙහි ප්රතිෂ්ඨිත තිස්සමහාරාමය නොවන බව ඉතිහාසගත කරුණු වලින් පෙනේ. පරම නිෂ්ඨාව වූ නිර්වාණාවබෝධය පිණිස ගමන් කළ යුතු නිවැරදිම මග වනුයේ ‘ඉපැරණි ථේරවාදී මහා විහාරීය’ ප්රවේණියයි.
සම්මා සම්බුදුරජානන් වහන්සේගේ පන්සාලිස් වසරක දේශිතය: පිටක විසින් තෙවදෑරුම්ය. විනය සූත්ර අභිධර්ම වශයෙනි. එම දේශනා අතරින් බොහෝමයක් දේශනා වී ඇත්තේ මනැස හැර මිනිස් මසැසට හා සෙසු ඉඳුරනට අවිෂය දෑ සම්බන්ධවය.
ලොවෙහි අදහස් ප්රකාශ කළ හැකි ප්රධානතම මාධ්ය භාෂාවයි. “භාසන්ති සන්තා අප්ඵුඩ්ඩාසයං පකාසෙන්ති එතෙනාති භාසා” යැයි නිරුක්ති ආචාර්ය වරු කිවාහු එබැවින්මැයි. සාමාන්යයෙන් අදහස් ප්රකාශ වනුයේ අපට ඇසට කනට පෙනෙන ඇසෙන එසේම දිව නාසය හා කය යන ඉඳුරන්ට දැනෙන දෑ සම්බන්ධවයි. එබැවින් භාෂාවක වචන මාලාව සකස් වනුයේ ඊට අනුරූපීවය. බත් කමි. පාසැල් යමි. ගෙවල් බඳිමි. මේ ආදී එක් මුවෙකින් දිනකට ප්රකාශ වෙන බොහෝ අදහස් ලෝකයේ පෙනෙන්ට ඇහෙන්නට තිබෙන, කෙරෙන කියෙන දෑ සම්බන්ධවය. එබැවින් ව්යවහාර භාෂා සියල්ලක්ම පාහේ සැකසී ඇත්තේ ලෝකයේ පවතින ඇස, කන, දිව, නාසය, කය යන පසැඳුරන්ට ගෝචර වන ප්රපංච සඳහා සැකැසී ඇති වදන් සමුදායකිනි.
ලෝකයේ පවතින ඇස කන දිව නාසය කය යන පසැඳුරන්ට ගෝචර වන ප්රපංච හැඳින්වීමට අමතරව එබඳු තත්ව ඉක්මවූ පසැඳුරන්ට විෂය නොවන විශ්වයේ යථා තත්වයන් පිළිබඳ අදහස් ප්රකාශනයක අවශ්යතාවයක් මතු වුවහොත් එය ව්යවහාර භාෂාවක් මගින් කිරීම එතරම් පහසු වන්නේ නැත. ව්යවහාර වදන් හා සඤ්ඤා සැකසී ඇත්තේ පසැඳුරන්ට විෂය දෑ ප්රකාශ කිරීම පිණිස නිසාය.
බුදු දහම වනාහි ජේහ ලෞකික සේම පාර ලෞකික විශ්ලේෂණ මත පදනම් වූ දහමෙකි. අපට පෙනෙන ලෝකය සේම අපට නොපෙනෙන ලෝකය සම්බන්ධ විශ්ලේෂණ මත පදනම් වූ දහමෙකි. අපට නොපෙනෙන ලෝකය පමණක් නොව අපට නොපෙනෙන මුළු විශ්වය සම්බන්ධවම සමන්ත හද්ර විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරෙන දහමෙකි. අවම වශයෙන් ථේරිය පරපුරේ පිලිගැනීම එයයි. එය ථේරිය පරපුරේ පිලිගැනීම වුවද එම මතය ඛණ්ඩණය කිරීමට කිසිදු ශාස්තෘ වරයෙකු හෝ විද්යාඥයන් යැයි කියාගන්නා කෙනෙකු හෝ අන් සමෙතෙකු හෝ මෙතෙක් පහල වී නොමැත.
මෙබඳු පරිසරයක් තුල අපට නොපෙනෙන විශ්වය සම්බන්ධව විශ්ලේෂණයක් ව්යවහාර භාෂාවක් මගින් ඉදිරිපත් කිරීම අතිශය බැරෑරුම් කාර්යයක් වනු ඇත. ව්යවහාර භාෂා අතුරින් වඩාත් සුපෝෂිත සුලලිත සුමධුර වදන් හා වියරණ මාලාවක් ඇති බසෙක්ම ඊට සරිලනු ලැබේයි. එදා භාරතයෙහි පැවැති ව්යවහාර භාෂා අතුරින් මාගධී භාෂාව මෙම කර්තව්යට පැවති අති යෝග්යතම භාෂාව විය. අද වන විට මාගධී භාෂාව සම්භාව්ය භාෂාවක් ලෙසින් සාංරක්ෂණය වුවත් එදා එය මගධයෙහි ව්යවහාරිත භාෂාව විය. ව්යවහාර භාෂාවක් වදන් හා වියරණ මාලාවෙන් කොතෙක් සුපෝෂිත වුවත් කොතෙක් සුලලිත වුවත් කොතෙක් සුමධුර වුවත් එය අපට නොපෙනෙන විශ්වය සම්බන්ධව විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට තරම් අත්යන්තයෙන් පාරිශුද්ධි නොවේමය. එබැවින් ශබ්ද හා වියරණඥාන පාරප්රාප්ත භාග්යවත් බුදුරජාණන් වහන්සේ විසින් එම ව්යවහාර මාගධී ය පාරිශුද්ධෝදාහරණය කොට ශුද්ධ මාගධී භාෂාවෙන් අපට නොපෙනෙන විශ්වය සම්බන්ධව විශ්ලේෂණ ඉදිරිපත් කොට වදාල සේක. එබැවින් මාගධී භාෂාව අර්ධ මාගධී හා ශුද්ධ මාගධී වශයෙන් භේද ද්වයකින් දක්වාලිය හැක්කිය. භාග්යවත් බුදුරජාණන් වහන්සේ හා සච්චන් ව්යවහාර කළ භාෂාව ශුද්ධ මාගධිය බවත් අන් තොටුවන හා තත් සච්චන් සේම සාමාන්ය ජනයාත් භාවිතා කළ භාෂාව අර්ධ මාගධිය බවත් තතු දන්නෝ දනිත්. දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්රාදියෙන් මෙයට නිදසුන් ලැබේත්.
එදා භාග්යවත් බුදුරජාණන් වහන්සේ හා සච්චන් ශුද්ධ මාගධියෙන් දහම් දෙසුවද අද වන විට එම මාගධී භාෂාව ව්යවහාරයෙහි නොමැත. සම්භාව්ය භාෂාවක් ලෙසින් එය සංරක්ෂිතය. දහම් දතුයත්තන් විසින් මාගධිය නිවැරදිව හදාරා දහම් දත යුතුය. එබැවින් ත්රිපිටකය ඉගැන්මට නම් මාගධිය හෙවත් අද හැඳින්වෙන පරිදි පාලි භාෂාව නිවැරදිව හැදෑරිය යුතුය. පාලි භාෂාව පිළිබඳ ප්රාමාණික ප්රාගුණ්යයක් නොමැතිව ත්රිපිටක පාඨයන් හි අරුත් ගැනීමට යාම දහම් විකෘති වීමට හේතු වෙයි. වැරදි ලෙස පද අරුත් ගැනෙන බැවිනි.
“යො නිරුත්තිං න ජානාති ජානාති පිටකත්තයං පදෙ පදෙ විකංඛෙය්ය - වනෙ අන්ධ ගජො විය” යැයි කීවේ එබැවිනි.
එබැවින් කච්චායන ව්යාකරණය පිළිබඳව හසල දැනුමක් ඇතිවම තත් කාර්යයට බැසිය යුතුය. මොද්ගල්ලායන හෝ ශබ්ද නීති සම්ප්රදායන් ආදේශ වශයෙන් උගැන්ම වරද නැති වුවද, මහාවිහාරීය ප්රවේණිය නම් කච්චායන ව්යාකරණයයි. “ද්වාදශභිර් වර්ෂෛර් ව්යාකරණං ශ්රූයතෙ” යැයි කී පරිදි වියරණයෙහි විශාරදත්වය දොළොස් වසක් කළ උද්ග්රහන පරිචය ඇත්තවුනට සමාධ වේය.
නමුත් දොළොස් වසක් පුරාවට කළ වියරණ පරිචය ඇති පමණකින්ම ත්රිපිටකයෙහි අරුත් නිවරදව ග්රහණය කළ නොහැක. ත්රිපිටකයෙහි අරුත් නිවරදව ග්රහණය කිරීමට බලපාන ප්රධාන කාරණා දෙකකි. ව්යාකරණ ප්රාගුණ්යය මින් එකකි. අනෙක බුද්ධ අධ්යාශ ජානන කුසලත්වයයි. බුද්ධ අධ්යාශ ජානන කුසලත්වය සම්පචාරී මහප්රාඥෝත්තමයින් විෂයෙහි අනුනවත්, තත් ථේරිය පරම්පුරෙහි පසුකාලීන මහප්රාඥයින් විෂයෙහි මාගධී භාෂා ප්රාගුණ්යය පාරප්රාප්ත කල සාමාන්ය වශයෙන්යුත් පිහිටයි. කල් යත් යත්ම එයද හීන වනු ඇත.
බුද්ධෝත්පීති කාලයෙන් දෙදහස් පන්සිය වසකටත් වඩා ගෙවී ඇති මෙවන් යුගයක, ත්රිපිටක අර්ථ නිවරදව තේරුම් ගැනීමට හේතුවන කාරණ අතරින් සම්පචාරී මහාප්රාඥෝත්තමයින් විෂයෙහි පමණක් බොහෝ සෙයින් විද්යාමාන වන බුද්ධ අධ්යාශ ජානන කුසලත්වය අද ප්රාමාණික නොවන හෙයින් නිර්වාණ අභිලාෂීන්ට එයින් වන හානිදායක බලපෑම කෙබඳුද? යත් කිසිදු බලපෑමක් ඇති නොකරයි. ඊට හේතුව නම් බුද්ධ අධ්යාශ ජානන කුසලත්වයින් හෙබි සම්පචාරී මහප්රාඥෝත්තමයින් විසින් කල් තියාම බුද්ධ දේශනයෙහි දුරාවබෝධ තැන් සුගම කරවමින් ඒවායේ අර්ථ විවරණ පරපුරෙන් පරපුරට වාචනය කරවමින් අර්ථ විනිශ්චය මාර්ගය සුරක්ෂිත කළ බැවිනි. මහකාශ්යපාදි මහරහතුන්ගේ එම අර්ථ කථනය පිළිවෙලින් උපාලි මහරහතන් වහන්සේය, දාසක මහරහතන් වහන්සේය, සොනක මහරහතන් වහන්සේය, සිග්ගව මහරහතන් වහන්සේය, තිස්ස මහරහතන් වහන්සේය, මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේය, යන ජම්බුද්වීප ඇදුරු පරපුර විසින් තෙවන සංගායනාව තෙක් සියවස් තුනක් පුරාවට සුරක්ෂිතව ගෙන එන ලදුච මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ වෙතින් මිහිඳු මහරහතන් වහන්සේ වෙතද, උන්වහන්සේ විසින් මෙම ශ්රී ලංකා දේශයට ගෙන එන ලද බව:
දීපස්ස දීපසුත්තධකිතස්ස නිපුණස්ස ආගමවරස්ස බුද්ධානුබුද්ධ සංවණ්ණිතස්ස සද්ධාචහගුණස්ස අත්ථපකාසනත්ථං අට්ඨකථා ආදිතො වසිසිතෙහි පඤ්චහි යා සධගහීතා අනුසධගහීතා ච පච්ඡාපි සීහලදීපං පන ආභතාථ වසිනා මහාමහින්දෙන ඨපිතා සීහල භාසාය දීපවාසිනමත්ථාය යැයි සුමංගලවිලාසිනියෙහි එන ප්රාරම්භ ගාථා මගින් පැහැදිලි වෙයි.
මෙසේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙම ශ්රී ලංකා දේශයට ගෙන එන ලද බුද්ධ දේශනයේ ගණ්ඨිස්ථාන පිළිබඳ අර්ථ විවරණය උන්වහන්සේගේ ශ්රේෂ්ඨ සිංහල ශිෂ්ය රත්නය වූ අරිෂ්ඨ මහරහතන්වහන්සේ වෙත වාචනය කරන ලදුච; එතැන් පටන්
සිංහල මහරහත් පරපුර වූ අරිෂ්ඨ මහරහතන් වහන්සේය, තිස්සදත්ත මහරහතන් වහන්සේය, කාලසුමන මහරහතන් වහන්සේය, දීඝ මහරහතන් වහන්සේය, දීඝසුමන මහරහතන් වහන්සේය, දෙවන කාලසුමන මහරහතන් වහන්සේය, නාග මහරහතන් වහන්සේය, බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේය, තිස්ස මහරහතන් වහන්සේය, දෙව මහරහතන් වහන්සේය, දෙවන සුමන මහරහතන් වහන්සේය, චූලනාග මහරහතන් වහන්සේය, ධම්මපාලිත මහරහතන් වහන්සේය, ඛෙම මහරහතන් වහන්සේය, උපතිස්ස මහරහතන් වහන්සේය, ඵුස්සදෙව මහරහතන් වහන්සේය, තෙවන සුමන මහරහතන් වහන්සේය, පුෂ්ඵදේව මහරහතන් වහන්සේය, මහසීව මහරහතන් වහන්සේය, උපාලි මහරහතන් වහන්සේය, මහනාග මහරහතන් වහන්සේය, අභය මහරහතන් වහන්සේය, තිස්ස මහරහතන් වහන්සේය, පුෂ්ප මහරහතන් වහන්සේය, චූලාභය මහරහතන් වහන්සේය, තිස්ස මහරහතන් වහන්සේය, චූලදෙව මහරහතන් වහන්සේය, සීව මහරහතන් වහන්සේය යන ඇදුරු පරපුර විසින් දරා ගෙන එන අතරතුර මහා අට්ඨකථා නමින් සිංහල භාෂාවෙන් මාතුල ජනපදයේදි ග්රන්ථාරූඪ විය.
මහ අට්ඨකථා නමින් පරපරම්පරාගත තත් අර්ථ කථා තොමෝ පස්වැනි සියවසේ මුල් භාගයේදී මාගධී භාෂාවට නැවත පරිවර්තනය විය. මෙම අටුවා පරිවර්තන මෙහෙයේදී විනය අර්ථ කථනය සමන්තපාසාදිකා විනය අට්ඨකථාව නමින්ද, සුමංගල විලාසිනී නමින් දීඝ නිකාය අර්ථ කථනය ද, පපඤ්ච සූදනී නමින් මැදුම් සඟි අර්ථ කථනයද, සාරත්ථප්පකාසිනී නමින් සංයුක්තනිකාය අර්ථ කථනය ද, මනෝරථපූරණී නමින් අංගුත්තර නිකාය අර්ථ කථනය ද, පරමත්ථජෝතිකා නමින් ඛුද්දක පාඨ අර්ථ කථනය ද, එනමින්ම සුත්ත නිපාත අර්ථ කථනය ද, ධම්මපදට්ඨකථා නමින් ධම්මපද පාලි අර්ථ කථනය ද, ජාතකට්ඨකථා නමින් ජාතකපාලි අර්ථ කථනය ද, භදන්ත බුද්ධඝෝෂාචාර්යයන් විසින් මාගධී හෙවත් පාලි භාෂාවට පරිවර්තනය කළහ. ඇතැම්හු පාලි අටුවාවන්හි කර්තෘත්වය භදන්ත බුද්ධඝෝෂාචාර්යයන් වෙත පැවරීමට උත්සහ දරණ බවෙක් පෙනෙතත් භදන්ත බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ අටුවා පරිවර්තකයෙකු පමණක් බව ප්රකටයහ.
ඒ බව; “අපනෙත්වාන තතොහං සීහලභාසං මනොරමං භාසං තන්තිනයානුච්ඡවිකං ආරොපෙන්තා විගතදොසං සමයං අවිලොමෙන්තො ථෙරානං ථෙරවංසප්පදීපානං