අභිධම්මත්ථ විකාසිනී ටීකා - සුමංගල හිමි 2013.pdf
- කතෘ :
- සුමංගල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2013
- මුද්රිත වර්ෂය :
- 2013
- පිටු ගණන :
- 799
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 243 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධම්මත්ථ විකාසිනී ටීකා යනු අභිධර්ම පිටකයේ එන විෂය කරුණු ගැඹුරින් පහදා දෙන අභිධම්මාවතාර ප්රකරණයට රචිත ප්රකට ටීකා ග්රන්ථයයි. පොළොන්නරු යුගයේ වැඩවිසූ මහා පරාක්රමබාහු රජුගේ කාලයේ ජේතවන මහා විහාරය කේන්ද්ර කරගෙන සාරිපුත්ත සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්ය සුමංගල මහා ස්වාමීන් වහන්සේ විසින් මෙම ටීකාව සම්පාදනය කර ඇත.
අභිධම්මාවතාරයේ අන්තර්ගත අර්ථ විවරණය කරමින් රචිත මෙම ටීකාවෙහි මහා විහාරික සම්ප්රදායේ මතවාද මෙන්ම අභයගිරි වාසීන්ගේ සහ විවිධ ආචාර්යවරුන්ගේ මතවාද සංසන්දනාත්මකව දක්වා ඇති බැවින් බෞද්ධ දර්ශනය හා අභිධර්මය ගැඹුරින් හදාරන්නන්ට ඉමහත් ප්රයෝජනවත් වේ.
මහාචාර්ය අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමියන් විසින් පෙළ ශුද්ධ කර සංස්කරණය කරන ලද පාලි පෙළ සහ ත්රිපිටකාචාර්ය විජේතුංග ලියනපටබැඳිගේ ධර්මදාස මහතා විසින් කරන ලද සිංහල තේරුම සහිතව බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය මඟින් 2013 වසරේදී මෙම ග්රන්ථය මුද්රණය කර ප්රකාශයට පත් කර ඇත.
ප්රස්තාවනා
ටීකා.
“පරියත්ති සාසනම්පි තෙපිටකං බුද්ධ වචනං සාට්ඨකථාපාලි” පර්යාප්ති ශාසනය නම් ත්රිපිටක බුද්ධ වචනය හෙවත් අටුවා සහිත පෙළයි.
“තෙපිටකං බුද්ධවචනං පරියාපුණි තබ්බට්ඨෙන, පරියත්ති අනුසාසනට්ඨෙන. සාසනන්ති කත්වා පරියත්ති සාසනන්ති වුච්චති”
ත්රිපිටක බුද්ධ වචනය පුහුණු කටයුතු, ඉගෙන ගත යුතු සජ්ඣායනා කටයුතු, වාචෝද්ගත වශයෙන් දරාගත යුතු යන අර්ථයෙන් පර්යාප්තියයි ද, විනෙය ජනයාට උතුම් අනුශාසනයක්ය සත්පුරුෂයන්ට උතුම් අනුශාසනා දේශනාවක්ය යන අර්ථයෙන් ශාසන නම් ද වේ. සියලු බුද්ධ වචන රාශිය පර්යාප්ති ශාසනයයි.
මෙම පර්යාප්ති ශාසනය චිරාත් කාලයක් පවත්වා ගෙන යාම සඳහා මහා කාශ්යප මහ රහතන් වහන්සේ ප්රධාන මහ රහතන් වහන්සේලා විසින් සංගායනා පවත්වන ලදී.
ශාසනයට යම් යම් විපත්තීන් පැවති අවස්ථා වලදී දෙවැනි තුන්වැනි සංගායනා ද රහතන් වහන්සේලා විසින් කරන ලදී.
භාග්යවතුන් වහන්සේ ධරමාන කාලයේම දඹදිව මාගධී ව්යවහාරය අහෝසි විය. මහ රහතන් වහන්සේලා ප්රකීර්ණක දේශනා වශයෙන් කට පාඩමින් ත්රිපිටකය රැකගෙන ආහ. එම ත්රිපිටකය මිහිඳු මාහිමියන් විසින් මෙහි ගෙන එන ලදුව.
ත්රිපිටකයේ දුරවබෝධ තැන් සුබෝධ කරමින්, වඩාත් නිවැරදිව පහසුවෙන් වටහා ගැනීම සඳහා සිංහල මහ රහතන් වහන්සේලා විසින් මිහිඳු මාහිමියන්ගේ ගුරුපදේශයෙන් හෙළටුවා ලියූහ. හෙළටුවා 19 ක් ගැන නාමමාත්රිකව හෙළි වී ඇත. භික්ෂූන්ගේ පරිභෝගයේ පැවති මෙම හෙළටුවා බුද්ධ වර්ෂ 953-975 මහානාම රජු දවස ලක්දිව වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට නගන ලදී.
මේ අනුව ත්රිපිටක බුද්ධ වචනය ලංකාවට ගෙන ඒම, එම ත්රිපිටකය සඳහා හෙළටුවා ලිවීම, එම හෙළටුවා පාලි භාෂාවට නැගීම, ත්රිපිටකය සහ අටුවා පුස්කොළ පොත් වල ලිවීම. මේ සියල්ල අනුරාධපුර යුගයේ දී සිංහල රජවරුන්ගේ දායකත්වයෙන් මහ සඟරුවනේ කැප වීමෙන් සිදු කෙරුණු බව ඉතිහාස නයින් ඔප්පු වේ.
දක්ෂිණ භාරතීය ආක්රමණ, අනුරපුර ආර්ථිකය පිරිහීම, අනුරපුර යුගයේ අවසානයේ දුර්වල රජවරුන් බිහි වීම ආදී හේතූන් සමූහයක් නිසා අනුරපුර රාජධානිය බිඳ වැටී අපේ සිංහල රාජධානිය පොළොන්නරුවට මාරු විය. සිංහල රාජධානි නිරිතදිගට සංක්රමණය වීමේ පළමු වන පියවර එය විය.
ක්රි. ව. 1017 පටන් ක්රි. ව. 1235 දක්වා කාලය පොළොන්නරු යුගය වශයෙන් හැඳින්වෙයි. මෙම යුගයේ සිටි ප්රතාපවත් මහ රජ පළමුවන පැරකුම්බා මහ රජය. පර සතුරු උවදුරු දුරු කොට ලංකාව එක් සේසත් කළ මහ පැරකුම්බා රජ, බුදු සසුන ආරක්ෂා කිරීමේ මහා පුණ්ය කර්මය දෙසට යොමු විය. මේ වන විට සඟ සසුන කොටස් කිහිපයකට කැඩී බිඳී වෙන් වී පැවතිණ. පැරකුම්බා රජ සියළු සංඝයා කැඳවා සංඝ සම්මේලනයක් පවත්වා, තුන් නිකාය එක් කොට, පොළොන්නරු කතිකාවත පනවා, ඒ කතිකාවත අනුව මහණදම් රකින්නට අපොහොසත් අය සිවුරු හරවා ඔවුන්ට රාජ්යයේ රැකියා ලබා දුන්නේය.
මේ සඟ සමුළුවේ දී ගත් එක් වැදගත් තීරණයක් වූයේ අටුවා කතා වලට ටීකා සැපයීමයි.
“ටීකා” යනු අටුවාවන්හි ගැටළු තැන් විස්තර කිරීම පැහැදිලි කිරීම සඳහා ලියවුණු පොත්ය. ලීනත්ථප්පකාසිනී, ලීනත්ථ වණ්ණනා යන වචන ටීකා කරණය සඳහා පාවිච්චි කර ඇති වචනයි. “ලීනත්ථ” යන්නෙන් අදහස් කර ඇත්තේ සැඟවුණු තේරුම්, සැඟවුණු අර්ථ යන්නයි. ඒ අනුව අටුවාවල සැඟවුණු තේරුම්, සැඟවුණු අර්ථ පැහැදිලි කිරීම ටීකාවන්හි කාර්යයි. පරමාර්ථයයි. අනුරපුර යුගයේ සිට පැවත ආ මහා විහාර අධ්යාපන ක්රමයේ දෙවන මූලධර්මය ටීකාකරණය වන්නේය.
ඉහත සඳහන් කළ මහ පැරකුම්බාවන්ගේ ශාසන සංශෝධන සංඝ සභාවේ මූලසුන ගත්තාහු දිඹුලාගල කාශ්යප මහ තෙරණුවෝය. දෙවැනි තුන්වැනි තැන් ගත්තේ ටීකාචාර්ය සාරිපුත්ත හා මොග්ගල්ලාන මාහිමිවරුන්ය. මේ අනුව දිඹුලාගල කාශ්යප මාහිමියෝ අසම සම ටීකාචාර්යවරයාණෝය. උන් වහන්සේ මහා සාමි - සංඝරාජ පදවි වලින් පැරකුම්බා රජු විසින් පුදනලදහ. උන් වහන්සේගේ ශිෂ්යයාණෝ සාගරමති සාරිපුත්ත ස්ථවිරයාණෝය.
පොළොන්නරුවේ පැවති ජේතවනාරාම පිරිවෙන ටීකා ක්රමය උගත් වූ කේන්ද්රස්ථානය විය. සාගරමති ශ්රී සාරිපුත්ත හිමියෝ මෙය පිහිටු වූහ. ටීකා ලිවීම සඳහා භික්ෂූන්ට පැවරූ පැරකුම්බා රජ ඒ සඳහා ශාලා දෙකක් කරවීය. ටීකා ලිවීමට අවශ්ය පුස්කොළ, පන්හිඳ ආදී සියලු උපකරණ ද සිවුපසය ද රජය මගින් සම්පාදනය කරන ලදී. එහි ආවතේව කළ ගිහියන්ට රජයෙන් වැටුප් ගෙවන ලදී.
දිඹුලාගල කාශ්යප මාහිමියන් විසින් සමන්තපාසාදිකාවට විනයට්ඨමඤ්ජුසා විනය ටීකාව ලියන ලදී. අභිධම්මත්ථ සංගහ ටීකාව සාගරමති සාරිපුත්ත තෙරුන් විසින් ලියන ලදී. මහින්ද සේල පිරිවෙතේ ත්රිපිටක වාචිස්සර හිමි පටිසම්භිදා මග්ග ටීකා ද, චෝල කුලාන්ත හිමි විනයට්ඨමඤ්ජුසා කඛාවිතරණී ටීකාව ද ලියූහ. සමහරවිටක පොත් වල කොටස් සඳහා ද ටීකා ලියා ඇත. දීඝනිකායේ සීලක්ඛන්ධ වර්ගයට පමණක් ලියූ ටීකාවක් වේ. අට්ඨසාලිනියේ ආරම්භක ගාථා 20 ට පමණක් ලියූ වීසති වණ්ණනා නම් ටීකාවක් වෙයි. චෝලිය කාශ්යප මහ තෙරුන් විසින් විමති විනෝදනී විනය ටීකාව ලියන ලදී. භදන්තාවරිය ධම්මපාල මහ තෙරුන් විසින් විසුද්ධි මග්ග ටීකාව ලියා ඇත. භදන්තාවරිය ධම්මපාල මහ තෙරුන් විසින් ලීනත්ථ මඤ්ජුසා දීඝනිකාය ටීකාව ලියන ලද්දේය.
මේ අන්දමට කුශාග්ර බුද්ධිමත්, ප්රඥා පාටවයෙන් යුත් මහා ස්ථවිරයන් වහන්සේලා විසින් ලියන ලද ටීකා ග්රන්ථ වසර 900 ක් පමණ කාලයක් අපේ පැරණි විහාර පොත් ගුල් ආදියේ තැන්පත් කර ආරක්ෂා කරගෙන පැවතියේය. කාලයක් තිස්සේ මෙම ටීකා පරිහරණයෙන් ඈත් වී පැවතිණ.
බුදු දහම පරපුරෙන් පරපුරට ගෙනයාම අපේ කාලයේ දී සිදු විය යුතු වගකීමක් හැටියට සලකන බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය ව්යවහාරයෙන් පරිහරණයෙන් කලක් ඈත් වී පවත්නා මෙම ටීකා සිංහලට පරිවර්තනය කර මුද්රණය කිරීමට අදිටන් කළේය. අපගේ මූලික පරමාර්ථය හා ක්රියා මාර්ගය වී පවතින්නේ පිරිසිදු ථේරවාදී ධර්ම මධ්යස්ථානය අංග සම්පූර්ණව පිහිටුවීමයි. ඒ සඳහා අපි බුද්ධ ජයන්ති ත්රිපිටකය පුනර් මුද්රණයෙන් පළ කළෙමු. දෙවනුව සූත්ර පිටකය සරල සිංහලට අනුවාදනය කොට පළ කළෙමු. තෙවනුව අට්ඨකථා (අටුවා) හතළිස් නවයක් සිංහලට පරිවර්තනය කර මුද්රණය කර ජනතාවට පිරිනැමීමු. දැන් අපි පාලි අට්ඨකථා සියල්ල ඉංග්රීසියට පරිවර්තනය කොට මුද්රණය කොට ලෝක බෞද්ධ ජනතාවට පිරිනැමීමේ කාර්යයට පියවර තබා ඇත්තෙමු. ටීකා ග්රන්ථ සියල්ල සිංහලට පරිවර්තනය කර පර්යාප්ති ශාසනය අඩු පාඩු රහිතව ස්ථාවර කිරීමට පියවර තබා ඇත. අට්ඨකථා පාලි පෙළ හා ටීකා පාලි පෙළ වියතුන් ලවා අධීක්ෂණය කොට මුද්රණය කරවීමට ද පියවර ගෙන ඇත. මේ සියල්ල අපෙන් සිදු වනුයේ ථේරවාදී ත්රිපිටක ධර්මය ශ්රී ලංකාවේ ස්ථාවරව පිහිටු වීමේ නිරාමිස ප්රීතිය සඳහාමය.
බොහෝ විට ත්රිපිටක ධර්මය වියතුන් යැයි සිතා ගත් පණ්ඩිතමානීහු තම තමන්ට රුචි පරිද්දෙන් විස්තර කරති. එයට හේතුව ඒවායේ මූලික හරය වටහා නොගැනීමයි. එය අවබෝධ කළ හැක්කේ අටුවා ටීකා මගිනුයි. අටුවාවල අනවබෝධ වචන ටීකා වලින් පැහැදිලි කෙරේ. ඒ මගින් වැරදි අර්ථ කථන දුරු කළ හැකි වේ. ටීකා සිංහලට පරිවර්තනය කිරීම බුද්ධ ශාසනය වශයෙන් අගය නිම කළ නොහැකි සේවාවකි. බුදු දහම පිළිබඳව ශ්රද්ධාව පැහැදීම වැඩි දියුණු වන්නේ බුදු දහමේ හරය අවබෝධ කර ගැනීමෙනි. බුද්ධ වචන විකෘති කර දක්වමින් ආගමේ නාමයෙන් ව්යාපාර පවත්වා ගෙන යාම ද, නවත්වා ලිය හැක්කේ අටුවා ටීකා පරිවර්තනය තුළිනි. එය ද මහත් ශාසනෝපකාරයකි.
මෙම ටීකා මුද්රණයේ දී පුණ්යානුමෝදනා කළ යුතු කීප පලක් ඇත. දුර්ලභ ටීකා පොත් සොයා ගැනීමේ දී එම පොත් අපට ලබා දීමට උපස්ථම්භක වූ දොඩන්දූවේ පොල්ගස් දූවේ ආරණ්ය සේනාසනයේ සියළු ස්වාමීන් වහන්සේලාට ද පුස්කොළ ටීකා පොත් හා මුද්රිත ටීකා පොත් ද සපයා දුන් පානදුර වලපොළ සද්ධර්මෝදය පිරිවෙනේ අධිකාරී අරියසිරි ස්වාමීන් වහන්සේට ද පූජ්ය හංවැල්ලේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේට ද අපගේ පුණ්යානුමෝදනා ස්තූතිය පිරිනමමි.
පාලි අට්ඨකථා මුද්රණය මෙන්ම, ටීකා මුද්රණය ද සිදු කරනුයේ ආගමික හා සදාචාර වර්ධන අමාත්යංශය මගින්, බුද්ධ ශාසන භාරකාර අරමුදලේ ප්රතිපාදන තුළින් ලබා දෙන ණය පහසුකම් තුළිනි. එම සත්කාරය කිරීමෙන් මෙම ව්යාපෘතියට අනුග්රහය දැක්වීම උදෙසා ශ්රී ලංකා සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති තුමාට ද, පාලක මණ්ඩලයේ සභාපති ගරු අගමැති තුමන් ඇතුළු සියලු සාමාජිකයනට ද, ආගමික කටයුතු ඇමති තුමන්ට ද, ආගමික හා සදාචාර වර්ධන අමාත්යාංශයේ ලේකම් මැතිතුමාට හා අරමුදලේ ලේකම් මැතිතුමන් ප්රධාන කාර්ය මණ්ඩලයට ද අපගේ පුණ්යානුමෝදනා ස්තූතිය පිරිනැමෙන්නේය.
ටීකා පරිවර්තනය සඳහා සහ අධීක්ෂණය සඳහා කැප වන සියලුම ස්වාමීන් වහන්සේලාට හා මහත්වරුන්ට ද මෙම උතුම් පින්කමේ පින් අනුමෝදන් කරමි.
ටීකා පරිවර්තනය කර මුද්රණය කරවීම සඳහා ද ඇප කැප වන, බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයේ සියලු සේවක මහත්ම, මහත්මීන්ට ද, පරිගණක, මුද්රණ ආදී කටයුතු මෙහෙය වන සියලු දෙනාට ද අපගේ ස්තූතිය හිමි වේ.
මෙසේ මෙම පුණ්ය කර්මයට අත හිත දීමෙන් සම්මාදම් වන සකල සාධූන්ටම මෙම මහා කුශල කර්මයේ පින් පුරවමින් දිගාසිරි පතමි.
කිරම විමලජෝති ස්ථවිර.
අධ්යක්ෂ - බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය.
සංඥාපනය
ධර්මයට වඩා අභිධර්මය ගැඹුරු වේ. බෞද්ධ පරම්පරාව මුල සිටම පිළිගෙන ඇත්තේ අභිධර්මය භාග්යවතුන් වහන්සේ විසින් තව්තිසා දෙව්ලොවේදී සිය මව වූ මහාමායා දේවියට හා අනෙක් අනෙක් දෙවිවරුන් උදෙසා වදාරණ ලද බවයි.
බුද්ධඝෝෂ හිමියෝ අභිධර්මය පිළිබඳව ප්රශ්න දෙකක් මතු කරති. “අභිධම්මො නාම කස්ස වචනං” - අභිධර්මය යනු කාගේ වචනද?, “කෙන ආගතො”- කවරෙකු විසින් ගෙනඑන ලද්දේද? යනුයි. පළමුවන ප්රශ්නයට දී ඇති පිළිතුරු “භගවතො වචනං අරහතො සම්මා සම්බුද්ධස්ස” - අරහත් සම්මා සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේගේ වචනයි. දෙවැනි ප්රශ්නයට පිළිතුරු සපයන උන් වහන්සේ උපදේශ නොකඩවන පරම්පරාව විසින් ගෙන එන ලදැයි යනුවෙනි. ඒ පරම්පරාව මෙසේය. සැරියුත්, භද්දිය, සෝභිත, පිටපාලි, පියපාල, පියදස්සී, කෝසිය පුත්ත, සිග්ගව, සන්දෙහ, මොග්ගලිපුත්ත තිස්ස, විසුදත්ත ධම්මිය, දාසක, සෝණක, රේවත ආදී තෙරවරුන්ගේ පරම්පරාවයි. ඉන්පසු සිංහල දීපයේ දී මහින්ද ඉට්ටිය, උත්තිය, සම්බල, භද්දසාල එතැන් පටන් ශිෂ්ය පරම්පරාව විසින් ගෙනඑන ලද බවයි.
අභිධර්මය “නිප්පරියාය දේශනාව” වෙයි. උපමා, රූපක, උදාහරණ වලින් තොරව ධර්මයම තේරුම් කර දී ඇත. අභිධාර්මික භික්ෂූන් “ධම්මකථික” ශබ්දයෙන් දක්වා ඇති බව බුද්ධඝෝෂ හිමි පවසයි.
මෙසේ ලක්දිව ලද අභිධර්මය ලාංකික භික්ෂූන් විසින් ආදර ගෞරවයෙන් යුක්තව ආරක්ෂා කරන ලදහ. ලක්දිව පැරණි රජවරු ද අභිධර්මයට විශේෂ ගරු සම්මාන සත්කාර පුදකළහ. පළමුවන කාශ්යප ක්රි: ව: 929 දී අභිධර්මය රන්පත් වල ලියවා ඇත. ධම්මසංගණිය බහුමූල්ය රුවනින් සරසන ලදී. විජයබාහු රජු (ක්රි: ව: 1039 - 1114) අභිධර්මය මහත් ආදරයෙන් හැදෑරීය. ඒ රජු ධම්මසංගණියට සිංහල අනුවාදයක් ද ලියා ඇත. ථේරවාදී පරම්පරාව අභිධර්මය විශේෂත්වයේලා සලකති. මෙසේ ලක්දිව ප්රචලිත වූ අභිධර්මය මහජනයාට පහසුවෙන් උගෙනීම සඳහා අපගේ හාමුදුරුවරු අභිධර්ම පොත් ලියූහ. අභිධර්මාර්ථ සංග්රහය, අභිධම්මාවතාර ආදිය එයින් ප්රකටය.
අභිධම්මත්ථ විකාසිනී ටීකාව ලියන ලද්දේ අභිධම්මාවතාරයේ සැඟවුණු අරුත් ප්රකට කරමින් අභිධර්මය විස්තර කිරීම සඳහාය. මෙහි කතුවරයා ලක්දිව අතිප්රකට ටීකාචාර්ය ශාරිපුත්ර සංඝරාජ මහා සාමීන්ගේ ශිෂ්ය වූ සුමංගල මහා ස්වාමීන් වහන්සේය.
පුලස්තිපුරය නොහොත් පොළොන්නරුවේ මහා පරාක්රමබාහු රජු විසින් කරවන ලද ජේතවන මහා විහාරයේදී එය ලියන ලද බව නිගමන ගාථා වලින් පැහැදිලි වේ. අභිධර්මාර්ථ සංග්රහ සන්නය පාලියට නගන ලද්දේ ද මේ සුමංගල නම් විද්වත් ශිෂ්යයාය. ඒ ආභාෂය ලත් උන් වහන්සේ අභිධම්මත්ථ විකාසිනී ටීකාව ලියන්නට ගත කර ඇත්තේ දවස් විසි හතරක් වැනි සුළු කාලයකි.
සුමංගල මහා ස්වාමීන් මහා විහාරික පරපුරේ බව පෙනේ. අභිධම්මත්ථ විකාසිනියේ නොයෙක් තැන මහා විහාරික මතය දක්වා අභයගිරි මතය ද විශේෂයෙන් දක්වා ඇත. තවත් සමහර තැන්වල වෙනත් මතවාද ද දක්වා තිබේ. ආනන්ද තෙර මෙසේ කියයි. ධර්මපාලාචාර්ය තුමා, ජෝතිපාල ආචාර්ය තුමා මෙසේ කියයි ආදී වශයෙන් දැක්වීමෙන් එක් එක් ආචාර්යවරුන් තුළ පැවති ආචාර්යවාද ගැන විශ්ලේෂණයක් කිරීමට ද මෙම පොත භාවිතාව ප්රයෝජනවත් වේ. උදාහරණ කිහිපයක්,
අභයගිරි වාසීහු - ප්රතිපදා විසුද්ධිය නම් පිරිවර දේ සහිත උපචාරයකි. උපේක්ෂාව වැඩීම නම් අර්පනාවයි. සතුටු කිරීම නම් ප්රත්යවේක්ෂණයයි. ප්රතිපදා විසුද්ධිය වර්ණනා කරති. (352)
අභයගිරිවාසීහු වනාහි - විඤ්ඤාණඤ්චායතන අභාවයම කියති. එයම මෙනෙහි කළ යුතු යයි කියති. විඤ්ඤාණඤ්චායතනයට සිහියෙන් සමවදී. සිහියෙන් නැගිටියි. සිහියෙන් නැගිට එම විඤ්ඤාණයම වඩයි. (364)
සන්තිවාර - ආචාර්ය ධම්මපාල, එකක් හෝ දෙකක් සන්තිවාර පවතී යයි කියති.
මජ්ඣිම භාණකවරු, එකක් දෙකක් පමණ සන්තිවාර පවතී යයි කියති.
සංයුක්ත භාණකවරු, රූප සන්තති, අරූප සන්තති යයි සන්තිවාර දෙකක් දක්වති. (366 - 387)
මහාවිහාර මතය - ප්රථම ධ්යානයට මුල් අවස්ථාව ප්රතිපදා විසුද්ධියයි. උපේක්ෂාව වැඩීම මධ්යයයි. සතුටුවීම කෙළවරයි.
අභයගිරි මතය - ප්රතිපදා විසුද්ධිය නම් පිරිවර දේ සහිත උපචාරයයි. උපේක්ෂාව වැඩීම නම් අර්පණාවයි. සතුටුවීම නම් ප්රත්යවේක්ෂණයයි.
මහාවිහාර මතය - ප්රථමාරූප විඤ්ඤාණයෙහි ආදීනව දැක එය දුරලා එහි අභාවය මෙනෙහි කළ යුතුය.
අභයගිරි මතය - විඤ්ඤානංචායතන අභාවයම මෙනෙහි කළ යුතුයි. 625
සීලය පිළිබඳ මතවාද - පාතිමොක්ඛ සංවර සංවෘතා යන්නෙන් සිව්පිරිසිදු ශීලයම ගන්නා බව දිවා විහාරවාසී සුමතෙරුන් කියයි.
ත්රිපිටක චූලනාග තෙරුන් කියන්නේ පාතිමොක්ඛ සංවර යන්නෙන් වදාරන්නේ ප්රාතිමෝක්ෂ සංවර සීලයම බවයි.
ඉන්ද්රිය සංවරය නම් සඳොර ආරක්ෂා මාත්රයකි.
ආජීව පාරිශුද්ධිය දෑහැමෙන් සෙමෙන් ප්රත්ය ලබාගන්නා ක්රමයකි.
ප්රත්යය සන්නිශ්රිතය නම් ප්රත්යයන් කෙරෙහි මෙයම ප්රයෝජනයයි සලකා ප්රත්යවේක්ෂා කොට ප්රත්ය අනුභව කිරීම් මාත්රයයි.
වෙනස් නොකළ හැක්කේ ප්රාතිමෝක්ෂ සංවර සීලයමයි. යමෙකුට එය බිඳුණේ ද අත් පා සුන් කවන්ධයක හා සමාන වේ.
රූපාවචර විෂයයෙහි පස්වැදෑරුම් ධ්යානාංගයන් සමඟ එකට යෙදීමේ භේදයෙහි, අටුවා වාදතුනක් ද, ස්ථවිරවාද හතරක් ද දැක් වේ.
ත්රිපිටක චූලනාග තෙරහු - මාර්ගාසන්න විදර්ශනාවට ආසන්න වූ පාදකධ්යානය නියම කරති. මෝරවාපී මහාදත්ත තෙරහු විදර්ශනාවට අරමුණ වූ ස්කන්ධ නියම කරත්.
ත්රිපිටක චූලාභය තෙරහු පුද්ගලධ්යාශය නියම කරත්.
අටුවාව, සංඛාරෝපේක්ෂා භාවයට පත්ව චුතියනගාමිනී විදර්ශනාවට ආසන්න වූ පාදක ධ්යානය නියම කරයි.
ආචාර්ය ධර්මපාල තෙරුන්ගේ ද, ආනන්දාචාර්ය තෙරුන්ගේ ද, රේවත තෙරුන්ගේ ද මති මතාන්තර මෙහි ඇතුළත් වේ. එය විමර්ශනශීලීව අභිධර්මය හදාරන්නට මහත් රුකුලකි.
කර්මය පිළිබඳව එන විස්තරයක් මෙසේය.
පෙර කර්ම භවයෙහි මෝහය අවිද්යාවයි. රැස්කිරීම සංචාරයයි. බලවත් ආශාව තෘෂ්ණාවයි. එළඹීම උපාදානයයි. චේතනාව භවයයි. මෙම පස්වැදෑරුම් ධර්ම මෙලොව ප්රතිසන්ධිය සඳහා ප්රත්ය වේ. ප්රතිසන්ධි විඤ්ඤාණය ප්රතිසන්ධි වශයෙන් මව් කුසට බැස ගැනීමෙන් නාම රූපය ප්රසාද ආයතන, ස්පර්ශය විඳිය යුතු වේදනාව මෙම කරුණු මෙලොව උප්පත්ති භවයෙහිලා පෙර කරන ලද කර්ම ප්රත්ය හේතූන්ගේ ඵලයයි. මෙලොව මෝරන ලද හෙයින් ආයතනයන්ගේ මුලාව අවිද්යාවයි. චේතනාව භවයයි. මෙම කරුණු මතු ප්රතිසන්ධිය සඳහා හේතු වේ.
අනාගතයේ අර්හත්වයට පැමිණෙන්නහුට පළමු භවයන්හි කළ පල නුදුන් විපාක අපරාපරිය කර්ම වශයෙන් එයි. ඉතා ලං වූ භවයෙහි කළ උපපජ්ජ වේදනීය කර්ම ද රහත්හුගේ අතීත භවයන්හි කළ අපරාපරිය වේදනීය කර්ම සඳහා ද මෙසේ මැයි. (817 - 819)
අභිධම්මත්ථ විකාසිනී ටීකාව පෙළ ශුද්ධ කොට සකස් කර ඇත්තේ දර්ශන විශාරද මහාචාර්ය අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහානායක මාහිමියන් විසින්. උන් වහන්සේ ඒ සඳහා ලියන ලද පෙරවදනෙන් සඳහන් පහත සඳහන් වැකි කීපය උන් වහන්සේට ගෞරවයක් වශයෙන් මෙහි ද ඇතුළත් කරමි.
“මේ පොත ඉතා වැදගත් එකක් බව වැටහේ. මෙවැනි දුර්ලභ පොත් ශුද්ධ කිරීමට හෝ පළ කිරීමට තවමත් අප අතර උද්යෝගයක් නැත්තා සේ පෙනේ. මෙයින් පොත් සියක්වත් විකිණේයයි සැකයක් ඇතත් ධර්මශාස්ත්ර සංග්රහය සලකා අප විසින් මේ උත්සාහය ගන්නා ලදී. ඇතැම් අදුරදර්ශී පුද්ගලයන්ට මෙය පෙනෙන්නේ මුදල් සැපයීමක් ලෙසය. දරුවන් ඇති අම්මලාම දරු ප්රසූතියේ අපහසුව දන්නා සේ මෙවැනි වැඩක් යන්තමින්වත් කළ පුද්ගලයෝම මෙවැනි කටයුත්තක වෙහෙස දනිති.”
මේ තත්ත්වය එදාට වඩා අද ද වෙනසක් නොපෙනේ. පොල්වත්තේ නායක මාහිමියන් වැනි විද්වතුන් එදා ප්රාර්ථනා කළ ආයතනය අද බිහිව ඇත්තාසේය. ඒ “බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයයි.”
විජිතනන්ද සරත්චන්ද්ර.