ඌනපූරණසහිතො මහාවංසො - පොල්වත්තේ බුද්ධදත්ත හිමි 1959.pdf
- ප්රකාශිත වර්ෂය :
- 1959
- මුද්රිත වර්ෂය :
- 1959
- පිටු ගණන :
- 762
- බාගත කිරීම් ගණන :
- 10
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-15
- ගොනුවේ ප්රමාණය :
- 208 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ඌනපූරණසහිතො මහාවංසො යනු සම්භාව්ය පාලි මහාවංස පාඨයෙහි අඩුව පිරවීම් (ඌනපූරණ) සහ පසුකාලීන කොටස් ඇතුළත් කොට, අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහාථෙරයන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද පාලි වංශකථා ග්රන්ථයකි.
මෙහි පැරණි මහාවංශ පාඨය පරිච්ඡේද අනුනවයකින් සමන්විත වන අතර, හරුමල්ගොඩ ශ්රී සුමංගල මහාස්ථවිරයන් විසින් විවිධ ඓතිහාසික මූලාශ්රයන් ආශ්රයෙන් රචනා කරන ලද ගාථා 954 කින් පමණ යුතු ඌනපූරණ පාඨයන් ද මෙහි පරිච්ඡේදයන්හි අදාළ තැන්වලට ඇතුළත් කර තිබේ. විල්හෙල්ම් ගයිගර් පඬිතුමාගේ සංස්කරණය හා දේශීය පුස්කොළ පිටපත් සසඳා බලා මෙම සංස්කරණය සකස් කර ඇත.
මෙම කෘතිය කොළඹ ඇම්. ඩී. ගුණසේන සහ සමාගම මඟින් බුද්ධ වර්ෂ 2502 හෙවත් ක්රිස්තු වර්ෂ 1959 දී ප්රථම වරට මුද්රණය කර ප්රකාශයට පත් කරන ලදී.
හැඳින්වීම
මහාවංසය වනාහි සිංහලයන්ට අයත්ව තිබෙන අගනා දායාදයකි. අවුරුදු දෙදහසකට වැඩි කලක් පැවති අවිච්ඡින්න රාජ–පරම්පරාවක ඉතිහාසයක් ඇත්තේ ලෝකයේ ජාතීන් අතුරෙන් කීපයකට පමණි. පාලිපද්යමය වූ මෙහි පරිච්ඡේද එක්සිය එකක් ඇතැයි මින්පෙර මුද්රිත පොත්වල දක්වා තිබෙතත් ඇතැම් පරිච්ඡේද වලින් එක් ගාථාපදයක්වත් පොතේ නැති බැවින් ඇත්ත වශයෙන් තිබෙන්නේ පරිච්ඡේද අනුනවයකි. ගයිගර් පඬිතුමා ද ඒ පරිච්ඡේද පසුකලක නැතිවී ගියාසේ සලකා ඒ නැති පරිච්ඡේදයන් ද ගණන්ගෙන එක්සිය එක පුරවා තිබේ. මේ නැතිවීගියයි සලකන පරිච්ඡේද වලින් ගාථා කීපයක් වත් යම් කිසි පිටපතක දකින්ට ලැබේ නම් එසේ ගණන් ගත්තාට වරදක් නැත. කවදාවත් කිසි පිටපතක දකින්ට නොලැබෙන පරිච්ඡේදයන් සැකපිට එහි ගණන් ගැනීම යුතුයයි නොවැටහෙන බැවින් මා විසින් ඒ අවිද්යාමාන පරිච්ඡේද ගණන් නොගන්නා ලදී. එබැවින් පරණ පොතට අයත් කොටසේ මෙහි තිබෙන්නේ පරිච්ඡේද අනුනවයකි.
පරණ පොතේ අන්තිම පරිච්ඡේදය ගාථා 29 කින් අවසන්ව ඇතත් අපගේ මේ සංස්කරණයෙහි එය අවසන් වන්නේ ගාථා 39 කිනි. ඒ වැඩි ගාථා දශය ද මෙහි ඌනපූරණ වශයෙන් යොදා තිබෙන 954 ක් පමණ වූ ගාථාවද දෙබද්දුවේ හෙලෙහිඹාරාමාධිපතිව වැඩවිසූ කල්යාණිවංසනිකායේ ලේඛකාධිකාරී හරුමල්ගොඩ ශ්රී සුමංගල මහාස්ථවිරතුමන් විසින් රචනා කරනලදහ. “ඌනපූරණය”යි කියනු ලබන්නේ පෘතුගීසීන් මෙහි පැමිණි කාලයේ පටන් සිදුවූ ප්රවෘත්ති මහාවංශයෙහි සංක්ෂෙපයෙන් දක්වා තිබෙන බැවින් අන්යග්රන්ථයන්ගේ ආශ්රයෙන් ඒ අඩු තැන් පුරවා මේ රචනාවන් කළ බැවිනි. නමුත් ඒ ස්ථවිරතුමා ඒවා ලිව්වේ ඌනපූරණ වශයෙන් නොව අගට එක්කළයුතු පරිච්ඡේද වශයෙනි. ලංකාද්වීපය ඉංග්රීසීන්ට යටත්වීම දක්වා ප්රවෘත්ති පරණ පොතේ ඇති බැවින් එයට පසුව නැවත පෘතුගීසීන්ගේ පැමිණීමේ පටන් ප්රවෘත්ති කියන්නට යාම නොගැලපේ යයි සිතුණ බැවින් මම ඒවා ඒ ඒ පරිච්ඡේදයන්ගේ ඌනපූරණ වශයෙන් යෙදුවෙමි. ක්රි: ව: 1936 දක්වා පැවති ඉතිහාසය ඇතුළත් මහාවංශයේ තෙවෙනි කොටස සම්පාදනය කළ යගිරල ප්රඥානන්ද මහානායක ස්ථවිරතුමන් විසින්දු මේ පෘතුගීසි – ලන්දේසීන් පිළිබඳ කරුණු ලියා තිබෙන්නේ පරිශිෂ්ටසංග්රහයක් වශයෙනි. ශ්රී සුමංගල මහාස්ථවිරතුමන්ට ඒ සඳහා ආරාධනා කළේ ග්රන්ථකර්තෘවරයෙක් හා ග්රන්ථශොධකයෙක් වූ මොරගල්ලේ ඤාණොභාසතිස්ස මහාස්ථවිරතුමායි. මහාවංශයේ තුන්වෙනි කොටස සම්පූර්ණයෙන් ලියවා සම්පූර්ණ පාලිපොත මුද්රණය කරවීමට ඒ ස්ථවිරතුමාගේ අදහස තිබුණි. නමුත් ශ්රී සුමංගල මහාස්ථවිරතුමාට ලියන්ට හැකිවී තිබෙන්නේ එයින් කොටසක් පමණය.
ඤාණොභාස ස්ථවිරතුමන් පාලිපොත ශුද්ධකොට දෙනසේ මට ආරාධනා කළ බැවින් මින් අවුරුදු පසළොසකට පමණ උඩදී මම දෙබද්දුවේ හෙලෙහිඹාරාමයෙන් හා වැලිතර අඹරුක්ඛාරාමයෙන් පුස්කොළ පිටපත් ලබාගෙන ගයිගර් පඬිතුමාගේ ශුද්ධිය සමග සසඳමින් මේ ශුද්ධිය කෙළෙමි. අලුතෙන් කඩදාසිවල ලියූ ඒ පිටපත ශුද්ධකොට ඒ ස්ථවිරතුමාට බාරදී කලක් ගතවූ නමුත් ලක්දිව මෙවැනි පොත් මුද්රණයට ඇති අවහිරකම් නිසා මෙහි මුද්රණය ටිකෙන් ටික ප්රමාද විය. එවිට මම මා ශුද්ධකළ පිටපතත් සුමංගල මහාස්ථවිරතුමන් ලියූ කොටසත් ඉල්වා ගෙන ඒතාක් කඩදාසිවල නොලියා තිබුණ විශාල කොටසක් පොල්වත්තේ අගනාරාමවාසී මලලගම සුමනසාර ස්ථවිරතුමන් ලවා ලියවා ගෙන මුද්රණය කිරීම සඳහා සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගමට බාරදුනිමි. එසේ කරනලද්දේ සංස්කෘතික දෙපාර්තමේන්තුවට මේ ගැන දැන්වූ විට පරණ පොත් මුද්රණය කිරීමට දැන් මුදල් හිඟයයි කී බැවිනි.
පාලිමහාවංසය මුලින්ම මුද්රණයට පමුණුවන ලද්දේ ලක්දිව සිවිල් නිලධරයෙක්ව සිටි “ජෝජ් ටර්නර්” මහතා විසිනි. 1837 දී ඉංග්රීසි අකුරෙන් මුද්රිතවූ එහි ඇතුළත් වූයේ 37 වෙනි පරිච්ඡේදය දක්වා වූ මුල් කොටසයි. එහි ඉංග්රීසි පරිවර්තනයක් ද විය. එය දුටු යුරෝපීයයෝ සිංහලයන්ට මෙතරම් පැරණි ඉතිහාසයක් තිබීම ගැන විස්මයට පත්වූහ. නැවත 1889 යේදී ඒ පොත ඇල්. සී. විජේසිංහ මහතා විසින් සංස්කරණය කොට පළ කරවන ලදී. සිංහල අකුරෙන් පළමු කොට මෙය මුද්රිතවූයේ 1883 දීය. එය ලංකාණ්ඩුවේ ඉල්ලීම ලෙස හික්කඩුවේ ශ්රී සුමංගල නායක මාහිමියන් හා දොන් අන්ද්රිස් ද සිල්වා බටුවන්තුඩාවේ පඬිතුමන් විසින් ශුද්ධකොට දෙනලදී. ඉන් පසු ඉතිරි කොටස ද ශුද්ධකොට දෙනලදින් ලංකාණ්ඩුව විසින් 1908 දී මුල් කොටසත් සමඟ මුද්රණයට පමුණුවන ලදී. මින් පසු විල්හෙල්ම් ගයිගර් නමැති ජර්මන් පඬිතුමා විසින් සිංහල–බුරුම–කාම්බෝජ පිටපත් රාශියක් එක්කොට බලා සම්පූර්ණපොත ශුද්ධකොට ඇත්තාක් පාඨභේදයන් යොදා එංගලන්තයේ පාලිපොත් සමාගමට දෙන ලදින් ඒ සමිතිය විසින් මුල් කොටස 1908 දී ද අග කොටස 1925 දීද මුද්රණයට පමුණුවනලදී. ගයිගර් පඬිතුමා මුල්කොටස මහාවංස යයිද දෙවෙනි කොටස චූලවංස යයිද නම් කෙළේය.
නමුත් පොතේ අග දක්වාම පරිච්ඡේද සංඛ්යා දක්වන තැන්වල මහාවංසනාමයම යොදා තිබෙන බැවින් එවැනි වෙනසක් කිරීම අපට රුචි නොවේ. මුල්කොටසට පමණක් ටීකාවක් ලියා තිබීම මේ වෙනස කිරීමට එක් හේතුවක් වෙන්ට ඇත. මහාවංසය නානා කර්තෘකවූවාසේම එහි ටීකාවද පසුව සිටි තෙරවරුන් විසින් ලියයුතුව තිබුණි. නමුත් එය සිදුවී නැත. ඒ නිසා ටීකාව නැති කොටස චූලවංසය වීමට කරුණක් අපට නොපෙනේ. ගයිගර් පඬිතුමාගේ කාලයට පෙරදීත් මේ මහාවංස–චූලවංස ව්යවහාරය පැවැති බව මහාවංසයේ අනුනවවෙනි පරිච්ඡේදයෙන් පෙනේ. එහි
77. “ඉච්චෙවං නිච්ඡයං කත්වා විනෙත්තා මනුජාධිපො මහාවංසම්හි රාජානං චූලවංසෙ ච රාජිනං
78. මහාසම්මතතො යාව හත්ථිසෙලපුරා පුරෙ ගාථානං බන්ධනෙනෙව තං පවත්තිං පුරාතනං
79. කත්වා පවත්තිතං ගන්ථං මහාවංසන්ති නාමකං ලංකාදීපෙ ඨිතං තං ච සාමඤ්ඤවිසයා පන
80. ආනීතං ලංකරාජූනං තමෙව වංසපොත්ථකං පටිපාටිං විචාරෙත්වා පොත්ථකෙ ද්වෙ විසූ විසූ
81. ඌනං තහිං පූරයිත්වා පරභාගෙ අපාකටං පරක්කමභුජාදීනං යාවෙතරහි රාජිනං පවත්තිම්පි ලිඛාපෙත්වා රාජවංසං පවත්තයි”
යන ගාථාවල මහාවංස–චූලවංස යන වචන පෙනෙතත් “කත්වා පවත්තිතං ගන්ථං මහාවංසන්ති නාමකං” යන දෙපාදයෙන් මුළු පොතම මහාවංසයයි දක්වා තිබේ, සියමරටින් මහාවංසයක් ගෙනා බව මේ ගාථාවලින් කියවේ. එය කාම්බෝජමහාවංසය වෙන්ට ඇතැයි සලකමි. එය ගැන අන්යතැනක කියා ඇත.
ගයිගර් පඬිතුමා මහත් පරිශ්රමයකින් පොත ශුද්ධකළ නමුත් ඇතැම් තැන්වල අර්ථ තේරුම් ගැනීම එතුමාට අපහසුවූ බැවින් වැරදී ගිය තැන්ද ඇත. එවැනි තැන් එතුමන් ජීවත්ව සිටියදීම මා විසින් පෙන්වා දෙන ලදින් එතුමා ඉතා සතුටෙන් ඒවා පිළිගෙන Indian Historical Quarterly ආදි සඟරාවල ඒ සදොස් තැන් නිදොස් කොට පළකරවීය.
ගයිගර් පඬිතුමා මහාවංශය ශුද්ධකොට පළකෙරෙව්වා පමණක් නොව එය සම්පූර්ණයෙන් ජර්මන් බසට නගා පළකරවීය. ඉන්පසු මේබල් බෝඩ් Ph. D. මැතිණියගේ ද ආධාර ඇතිව එය ඉංග්රීසියට නගන ලදින් ලංකාණ්ඩුවේ අනුග්රහයෙන් එංගලන්තයේ පාලිපොත් සමාගම විසින් මුල් කොටස 1925 දීද චූලවංස පරිවර්තනයේ ප්රථම භාගය 1929 දී ද දෙවෙනි කොටස 1930 දී ද පළකරවන ලදී. එහි වූ එතුමාගේ සංඥාපනය පිටු 63 කින් යුක්තය. පාලිපොතේ සංඥාපනය පිටු 55 කින් යුක්තය. එතරම් දිග සංඥාපන ලිවීමෙන් පෙනී යන්නේ මේ පොත් සම්බන්ධ කරුණු විමසා බැලීමට ඒ මහතා කොතරම් වෙහෙස ගෙන තිබේද යන්නයි. සිංහලයන්ගේ ඉතිහාසය ලොව පැතිරවීම සඳහා මේ මහතා ගත් උත්සාහයට හැම සිංහලයන් ණයගැතිවිය යුතුයි.
මහාවංශය බෞද්ධ භික්ෂූන් විසින් බෞද්ධාගම සම්බන්ධ කරුණු පමණක් ඇතුළත් කොට ලියූ පක්ෂපාති ග්රන්ථයකැයි ඇතැම් වර්තමාන උගත්තු අස්ථානික චෝදනාවක් කරති. පණ්ඩුවාසුදේවයන්ගේ යුද්ධප්රවෘත්ති ද දුටුගැමුණු රජු සිංහලජාතිය නිදහස් කර ගැනීම සඳහා කළ යුද්ධ ද මහපැරකුම්බාරජුගේ සෑම යුද්ධකම විස්තරද මහාවංශයෙහි ඇතුළත්බව මොවුන් නොදන්නා සේය. මහපැරකුම්බා රජු පිළිබඳ යුද්ධප්රවෘත්ති අතිශය විස්තර වශයෙන් මෙහි දැක් වූ බැවින් ඒ සඳහා පරිච්ඡේද සතළොසක් පමණ යොදා තිබේ. ඒ සියල්ල බෞද්ධාගම පිළිබඳ ප්රවෘත්ති නොවන බව මදක්වත් විමසා බලන්නන්ට වැටහේමය. ඒ කාලයේදී රටේ සමෘද්ධිය සඳහා බොහෝ සේම හේතු වූයේ ගොවිතැනය. ගොවිතැන් හා වැවිලි කිරීමට අතිශයෙන්ම උපකාර වන්නේ ජලය බැවින් වැසි අඩු පෙදෙස්වලට ජලය ලබා ගැනීම සඳහා වැව් බැන්දවීම සිංහල රජුන්ගේ ප්රධානතම කාර්යයක් විය. ඒ වැව් බැඳීම පිළිබඳ විස්තරද මෙහි නොයෙක් තැන දකින්ට ලැබේ.
මහාවංශයෙහි අඩුපාඩු නැත්තේම නොවේ. මහානාම රජුගේ කාලයේදී චීනයත් මෙරටත් අතර දූතපිරිස් ගමන්කිරීම හා මෙරටින් සිංහල භික්ෂුණී පිරිසක් චීනයට යැවීම මෙහි ඇතුළත්ව නැත. සේබියන් අරාබි ජාතික වෙළඳුන් අනුරාධපුරයේ උසස් මන්දිරවල විසූබව ක්රි. ව. 410 පමණේදී මෙහි පැමිණි පාහියන් තෙරුන් කියන නමුත් මහාවංශාදි අපේ පොත්වල ඒ ගැන කිසිවක් නැත. මහාවංශයේ දශවෙනි පරිච්ඡේදයේ 90– වෙනි ගාථාවෙහි යොනසභාගවත්ථු යන වචනයක් පෙනේ. එය සිංහලට නඟා තිබෙන්නේ නිකම්ම “සභාගවස්තුවද” යනු වෙනි., යොන යන්න හැරදමා තිබේ. නමුත් ඉංග්රීසි පරිවර්තනයෙහි “The ground set apart for Yonas” (=යෝනයන් සඳහා වෙන්කළ භූමිභාගය”)යි දක්වා තිබේ. ඒ ඉංග්රීසි පරිවර්තනය හරිය. නමුත් ගයිගර් පඬිතුමා මෙහි යටලීය වටහා ගෙන පරිවර්තනය කළාදැයි නොදනිමි. මාගේ අදහස නම් ඒ කාලයේදී “යවන” යයි ව්යවහාර කරනු ලැබූ ග්රීකයන්ට එක්ව විසීම සඳහා වෙන්කළ කොටසක් අනුරාධපුරයෙහි තිබුණේය යන්නයි. දැනුත් ඇතැම් මහානගරවල ඒ ඒ ජාතිකයන්ට එක්ව විසීම සඳහා වෙන් කළ කොටස් වෙති. ග්රීක් වෙළඳ සමූහයක් ද අනුරාධපුරයෙහි විසූබව මෙයින් පැහැදිලිවේ. පුරාණ ග්රීක්කාසි අනුරාධපුර පොළොවෙන් ලැබීමත් මෙයට සාක්ෂියකි.
තවද වාර්ෂික දළදා පූජාව ගැන චිත්තාකර්ෂණීය විස්තරයක් පාහියන් තෙරනම විසින් ලියන ලදී. ඒ විස්තරය ද මහාවංශයේ නැත. පාහියන් තෙරුන් දැක් වූ විස්තරයෙන් ස්වල්පයක් මෙසේයි:
“බුදුන් වහන්සේගේ දළදාව තැන්පත් කොට තිබෙන මන්දිරය ද මේ නගරයෙහිම වෙයි. මේ දන්තධාතුමන්දිරය මුළුමනින්ම නිමවා ඇත්තේ සත්රුවනිනි.”
“සිරිත්පරිදි දන්තධාතු ප්රදර්ශනය පවත්වනු ලබන්නේ තුන් වන මස මැදදීය. ප්රදර්ශනය ආරම්භ කිරීමට දින දශයකට කලින් රජතුමා විශාල හස්තියකු හස්ත්යාභරණයෙන් සරසවා උහු මතුයෙහි රාජකීය ඇඳුමෙන් සැරසුණු ව්යක්ත කථිකයකු නංවා වයන්ට බෙරයක් දී මහාජනයාට ප්රකාශයක් කරවයි: බුදුන් වහන්සේ බෝසත් භූමියෙහි සිටියදී අසංඛ්ය කල්ප මුළුල්ලේ පාරමීන් පිරූසේක........................................................................................උන්වහන්සේ පිරිනිවන් පෑ තැන් පටන් අවුරුදු 1497 ක් (?) ගතවී තිබේ. පින්වතුනි, අද සිට දිනදශයක් ගිය තැන බුදුන්වහන්සේගේ දන්තධාතුව පිටතට ගෙන අභයගිරිවිහාරය කරා වැඩමකරවනු ලැබේ. පින් රැස්කර ගැනීමෙහි කැමති ගිහි පැවිදි සියල්ලෝම මං සම කෙරෙත්වා; කුඩා මාර්ගයන් හා මහාමාර්ගයන් සරසත්වා. හැම අයුරකින්ම සුවඳ–දුම්–මල් ඈ පූජාද්රව්ය පිළියෙල කරත්වා”
“මේ ප්රකාශය කරනු ලැබූ පසු රජතුමා බුදුන් වහන්සේගේ අතීත ආත්මභාවයන් පිළිබඳ ප්රතිරූපයන් මග දෙපස තැන්පත් කරවයි. පන්සියපණස් ජාතකයන් අතුරෙන් වැදගත් ජාතකයන් පිළිබිඹු කරන, දක්ෂලෙස අඳිනලද, දීප්තිමත් වර්ණයෝජිත වූ ඒ ප්රතිරූප සම්ප්රකාරයෙන්ම සජීවරූප මෙන් පෙනෙත්.”
“ඉක්බිති දන්තධාතුන් වහන්සේ මන්දිරයෙන් පිටතට ගෙන ප්රධාන මාර්ගය දිගේ වැඩම කරවනු ලැබේ. දළදාවහන්සේ අභයගිරිවිහාරයට ප්රදර්ශනශාලාව කරා ළඟාවෙන තෙක්ම මග සිටි මිනිස්සු පූජා පවත්වති. අනතුරුව භික්ෂූහු ද ගිහියෝද එක් රැස්ව සුවඳදුම් දීමෙන් පහන් දැල්වීමෙන් වෙනත් ආගමික පූජා පැවැත්වීමත් රැ දාවල් දෙක්හිම කෙරෙති. අනූ දිනකට පසු නගරයේ පිහිටි දන්තධාතුමන්දිරය කරා දළදාවහන්සේ වැඩම කරවනු ලැබේ. සැදැහැතියන්ට වැඳපුදා ගත හැකිවනු පිණිස මේ මන්දිරය පොහෝ දිනයන්හි විවෘතකොට තබනු ලැබේ.”
හත්වෙනි ක්රිස්තුශතාබ්දයේදී භාරතයට පැමිණි හියුංසියං මහාස්ථවිරතුමාද දළදාමන්දිරය උසස්ලෙස වර්ණනාකරයි. එතුමාගේ ගමන් විස්තරයේ එකොළොස්වෙනි පරිච්ඡේදයෙහි; “රජගෙය අසළ සර්වඥදන්තධාතුව පිහිටි මන්දිරය වේ. සකල රත්නවර්ගයන් ගෙන් අලංකෘත වූ ඒ මන්දිරය මධ්යාහ්න සූර්යයා මෙන් නිරන්තරයෙන් බබළයි. බොහෝ කලක සිට රජවරුන් විසින් මේ ධාතුවට පූජාසත්කාර පවත්වනලදී” යයි කියවේ. එහිම දශවෙනි පරිච්ඡේදයෙහි; “මෙතනින් ලී විසිදහසක් පමණ තැන මුහුදෙන් එතෙර සිංහලදේශය පිහිටියේය. නිශ්චල රාත්රියක එදෙස බලන අපට එරට දළදා මැඳුර මත්තෙහි සවිකළ විශාල රක්තමාණික්යයේ ආලෝකය දැල්වෙන පන්දමක් මෙන් හෝ තාරකාවක් මෙන් පෙනේ” යයි කියන ලදී.
මේ කියන රක්තමාණික්යය සම්බන්ධයෙන් තවත් නොයෙක් කරුණු පර්යටකයන් විසින් ඔවුන්ගේ වාර්තාවල දක්වන ලදී. ක්රි. ව. 1260 පමණේදී චීනයට පැමිණි ප්රථම ඉතාලි ජාතිකයා වූ මාර්කෝ පෝලෝ තමාගේ භ්රමණවෘත්තාන්තයෙහි “මිල නියම කළ නොහැකි තරම් වටිනා රතුමැණිකක් ලක්දිව රජුට අයිතිව තිබුණි. අත්දණ්ඩක් පමණ මහතැති, වියතක් දිගැති, කිසි පලුද්දක් නැති ඒ රක්තමාණික්යය ගැන කුබ්ලායි ඛාන් මහ රජුට අසන්ට ලැබී මුළු නුවරක වටිනාකමට මාරුකොට එය එවනසේ කියා මෙරටට දූතයන් එවූ නමුත් ‘මුළු ලොව ඇතිතාක් සම්පත් දුන්නත් අතීත රාජපරම්පරාවෙන් පැවතෙන ඒ මාණික්යරත්නය රටින් පිට යැවිය නොහැකියයි කියා සිංහල රජ ඒ ඉල්ලීම ප්රතික්ෂේප කෙළේය.”
මෙසේ පිටරටියන් විසින් අතිශය උත්කර්ෂයෙන් වර්ණනා කරනලද දළදා මන්දිරය ගැන මහාවංශයේ සඳහන් වන්නේ අත්යල්ප විස්තරයකි. නුවරතුළ පිහිටි දළදා මැදුරෙන් දළදාව වැඩමවාගෙන අභයඋත්තරවිහාරයට යාමෙන් පෙනෙන්නේ මහා විහාරවාසීන්ට එහි සම්බන්ධයක් නොතිබුණු බවයි. අභයගිරිය සම්බන්ධ කරුණු ගැන වැඩි විස්තරයක් ලිවීමට මහාවංශය ලියූ මහා විහාරවාසීහු නොකැමැති වූහයි සිතන්ට ඉඩ තිබේ. පසු කලක අනුරාධපුර රාජධානිය නැතිවී දළදා පාත්රා ධාතු දෙක රජවරුන්ටම අයත් වස්තු බවට පැමිණි පසු ඒ දෙක ගැන මහාවංශ කර්තෘන් නිතර සඳහන් කළබව පෙනේ. මෙහිදී උත්තර විහාර මහාවංස නමින් අභයගිරිවාසීන්ගේ මහාවංශයක් තිබුණු බව සිහිපත් කළයුතුයි.
සිංහල සිංහාසනය.
සිංහල සිංහාසනය පිළිබඳ මොනම විස්තරයක් වත් මහාවංශයේ නැත. ක්රි: ව: 1225 දී මෙහි පැමිණි චෞ ජූ ක්වා නමැති චීනයාත්රිකයා සිංහල රාජභවනයත් සිංහාසනයත් පිළිබඳ වැදගත් විස්තරයක් කරයි. එය මෙසේයි: ඔහුගේ රාජ මන්දිරය වෛරෝඩි නිල්මැණික් රතුකැට ආදි රත්නවර්ගවලින් සරසන ලදී. ඔහු ඇවිදින පොළෝතලය පවා මැණික් වලින් සරසා තිබේ. නැගෙනහිර දිශාවෙහිත් බටහිර දිශාවෙහිත් පිහිටි රාජමන්දිර දෙකකි. ඒ මන්දිර දෙක තුළ වෙන් වශයෙන් රනින් සෑදූ ගස්දෙකකි. එහි කඳඇතු ආදි සියල්ල සතරනින් සාදා තිබේ. මල්ගෙඩි කොල ආදිය වෛරෝඩි–නිල්මැණික්–රතුකැට ආදියෙන් නිර්මිතය. ඒ ගස්පාමුල ස්වර්ණමය සිංහාසන දෙකකි. ඒ ආසනවලට පිටපසින් විනිවිද නොපෙනෙන වීදුරු ආවරණ දෙකකි. (= මූනබලන කන්නාඩි මෙන් රසදිය ආලේපකළ වීදුරු ආවරණයයි.) පෙරවරුවෙහි රාජසභාව රැස්වෙන විට රජතුමා බටහිර මාලිගාවේ සිංහාසනාරූඪ වෙයි. හවස් වරුවේ රැස්වෙන විට පෙරදිග මන්දිරයෙහි සිංහාසනාරූඪවෙයි. රජු අස්නෙහි හුන් විට හිරුරැසින් දිලිසෙන මැණික්ද වීදුරු ආවරණය සමග දිලිසෙන රුවන්ගස්ද වර්ණිතාවිෂය ඉක්මවූ බැබලීමක් ඇතිකරත්. රජතුමා තමාගේ අතේ අඟල්පහක විෂ්කම්භය ඇති රතු මැණිකක් දරයි. එය ගින්නෙන් නොදැවිය හැක්කකි. රජතුමා ඒ මැණිකෙන් දිනපතා තමාගේ මූණ පිරිමදින බැවින් ඔහුගේ තරුණභාවය රැකී තිබේ.”
මේ කියන කාලයේ දී ලක්දිව සිටියේ කාලිංගමාඝ රජය යි පෙනේ. එතුමා විසුවේ මහපැරකුම්බා රජුගේ රාජමන්දිරයේ ය. එබැවින් මේ වර්ණනාව මහපැරකුම්බාරජු හා සබන්ධ වේ. සිංහල රජුන්ගේ තේජස සම්බන්ධයෙන් බින්දුමාත්රයක් අපට මෙයින් දැන ගන්ට ලැබේ. චෞ ජූ ක්වා දුටු රජුගේ එකල වයස අනුනවක් පමණ වී යයි ද ශරීරය ඉතා කළු පැහැයෙන් යුක්ත යයි ද, ඔහු හපා දමන බුලත් හප එක්කොට ගැනීමට සේවකයෝ දෙදෙනෙක් රන් තැටි දෙකක් ගෙන දෙපස සිටිත් යයි ද, ඒ බුලත් හප සේවකයෝ මිලදී ගෙන නැවත අනුභවකරතියි ද ඔහු විසින් කියන ලදී.
අධිශතවත්සරයකටත් වැඩි කලක් ලංකාරාජ්යය කළ සවෙනි පැරකුම්බා මහ රජුගේ රාජ්යකාලය සම්බන්ධයෙන් මහාවංශයෙහි පෙනෙන්නේ ගාථා විස්සකි. නමුත් මේ රාජ්යකාලයේ දී පිට රටවලින් භික්ෂුපිරිස් කීපයක් අවුත් උපසම්පදාව ලබාගෙන යාමෙන් සියම් බුරුම ආදි රටවල සිංහලෝපසම්පදාවංශයක් පැතිර ගිය සැටි ඒ රටවල තිබෙන ඓතිහාසික ලේඛන වලින් පෙනේ. මෙයින් ඉතා වැදගත් වූයේ බු. ව. 1967 දී සියම් කාම්බෝජ දෙරටින් තෙනිස් නමක් භික්ෂූන් මෙහි පැමිණ වනරතන සංඝරාජයන් ප්රමුඛ සිංහල සංඝයා වෙතින් උපසම්පදාව ලබාගෙන යාමයි. ඒ උපසම්පදාව සිදුවූයේ බු. ව. 1968 ඇසළ පුරදෙළොස් වක් ලත් ඉරිදා ය. මේ අවස්ථාවේ දී රාමඤ්ඤරටෙන් පැමිණ සිටි සයනමක් ද උපසම්පදාව ලබාගත්හ. මේ පිළිබඳ විස්තරය සියම්රට විසූ රතනපඤ්ඤා මහතෙරුන් විසින් සම්පාදිත වූ ජිනකාලමාලී 1 නම් ග්රන්ථයෙහි ඇතුළත්ව තිබේ.
බු. ව. 2018 දී රාමඤ්ඤරට ධම්මචෙතිය මහාරජුගේ ප්රශ්නයකට උත්තර දුන් සුවණ්ණසොභන මහතෙරනම “මහරජ කලම්බු නම් මහවිලෙහි සෑදූ උදකුක්ඛෙප සීමාවේ දී ප්රමාණරහිත ගණයන්ගේ සමීපයෙහි වනරතන නමැති පුරාණ සංඝරාජ තෙරුන් උපාධ්යාය කොට රාහුලභද්ර නමැති දැන් විජයබාහු පරිවේණාධිපති සංඝරාජයන් කර්මාවාසී කොට මම උපසම්පන්න වීමි. එතැන් පටන් සවිසි වස් ඇත්තේමි”යි කී බව රාමඤ්ඤරට තිබෙන කල්යාණීශිලාලිපියෙහි දක්වා තිබේ. මෙය සිදුවී තිබෙන්නේත් සවෙනි පැරකුම්බා කාලයේදී ය.
තවද ඡපට නමැති බුරුම මහතෙර නමක් මේ රජුගේ රාජ්යකාලයේ දී ලක්දිවට පැමිණ ලක්දිව භික්ෂුසංඝයාට ධර්ම විනය ඉගැන්වූ බවත්, රජුගේ අනුග්රහයෙන් ශාසනගොඩනයක් කළ බවත් ජයවර්ධනපුර නමැති කෝට්ටේ නුවර විපත්තිරහිත සීමාවක් බැන්දවූ බවත් ඒ මහතෙරුන් සම්පාදනය කළ “සංඛෙප වණ්ණනා ටීකා” “කච්චායන සුත්තනිද්දෙස” ආදි පොත්වලින් පෙනේ.
1 මේ පොත සියම් රටෙන් ගෙන්වා සිංහල අකුරෙන් ලියා සිංහල අනුවාදයක් සමග මා විසින් පිළියෙල කරන ලද්දක් සම්බුද්ධජයන්ති සභාව විසින් 2500 දී මුද්රණයට පමුණුවන ලදී.
1. “පුණ්ණෙ දසෙ නවනවුතිගුණෙ ච වස්සෙ වස්සෙ සහස්සගණනෙ ජිනනිබ්බුතම්හා ඉද්ධාරිමද්දනපුරා චරතම්බපණ්ණිං පඤ්ඤා යෙසා සිරිපරක්කමබාහුභූපං
2. නිස්සාය සාසනමලං සුවිසොධයිත්වා භික්ඛූහි චිණ්ණවිනයෙහි සුසඤ්ඤතෙහි බන්ධෙසි පුරවරෙ ජයවද්ධනම්හි සීමං විපත්තිරහිතං විනයානුරූපං
3. සික්ඛාපයි යතිගණෙ විනයාභිධම්මෙ පඤ්ඤාවවුදනහදයො සදයො ජනානං අප්පිච්ඡතා–විරියසීල–ගුණප්පසත්ථො සද්ධාවතො සකලසිස්සජනානුකම්පී” 2
යනාදි වශයෙන් සවෙනි පැරකුම්බා කාලයේ සිදුවූ ඓතිහාසික ප්රවෘත්ති කීපයක් ඡපටතෙරුන් විසින් දක්වන ලදී. සවෙනි පැරකුම්බා කාලයෙන් පසු ලක්දිව පාලනය නොයෙක් ලෙසින් අවුලට පත්වූ බැවින් ඒ කාලයේ ඉතිහාසය ද පිළිවෙලින් ලියවී නැත. බින්දුමාත්රයක් ම ලියවී තිබේ.
සවෙනි භුවනෙකබාහු රජුගේ කාලයේ දී රාමඤ්ඤරටින් පැමිණි සිවුසාලිස් නමක් භික්ෂූන් සිංහලෝපසම්පදාව ලබාගෙන ගොස් එහි හංසාවතී නුවර කල්යාණී සීමාව බැඳ බුරුම රාමඤ්ඤ දෙරටේ භික්ෂූන්ට ඒ සීමාවේ දී උපසම්පදාව දුන් සැටි එහි ධම්මචෙතිය මහාරජු විසින් පිහිටුවන ලද කල්යාණී ශිලාලිපිවල විස්තර වශයෙන් දැක්වෙතත් අපේ මහාවංශයෙහි ඒ ගැන කිසි සටහනක් නැත.
ජාවක චන්ද්රභානු රජ ජීවත් වූයේ දෙවෙනි පැරකුම්බා රජුගේ කාලයේදීය. බෞද්ධයකු වූ ඒ රජ ලක්දිව තිබෙන උතුම් ධාතු වලින් යමක් ලබා ගැනීමට වෙහෙස ගත්තේය. පළමුවෙන් යුද්ධ කොට ඒවා ලබා ගැනීමට උත්සාහ කොට එය නොකළ හැකි බව දැනගත් විට සියමේ රෝච රාජාදීන් හා සාකච්ඡා කොට සුභද දූත පිරිසක් මෙරටට එවා ආනුභාවසම්පන්න පස්ලෝ පිළිමයක් මෙරටින් ලබා ගත්තේය. සියම් රටට ගෙනගිය ඒ පිළිමය ලබා ගැනීමට එරට රජුන් අතර නොයෙක්විට යුද්ධකෝලාහල ඇතිවිය. මේ පිළිමය දෙවෙනි ක්රිස්තුශතාබ්දය පමණේදී සිංහල රජකු කරවූ
2 ඡපට තෙරුන්ගේ චරිතය “ථෙරවාදී බෞද්ධාචාර්ය්යයෝ” නමැති පොතෙන් බලාගත හැක.
පිළිමයක් අනුව සාදවන ලද්දකි. එය බඳදමු විට ජීවමාන බුද්ධ ශරීරය මෙන් බබළන්ට විය. එය සියමට ගෙනයන ලද්දේ ක්රි. ව. 1256 දීය. පළමු කොට එය සියමේ තැන්පත් වූයේ සුඛෝදය නුවරය. අවුරුදු සියයක් එහි තිබුණු ඒ පිළිමය ඉන්පසු චශිනාත්, අයොධ්ය, කම්පෙන්පෙට්,... රහං, චියෙන්මායි, චියෙන්ශ්රායි, චියෙන්සෙන් යන නුවරවලට ගෙනයන ලදී. එසේ ගෙනයන ලද්දේ බොහෝ විට යුද්ධ කිරීමෙනි. අවසන් වරට ක්රි. ව. 1795 දී එය බැංකොක් නුවර තැන්පත් විය. එහි ජාතික කෞතුකාගාර භූමියෙහි වූ කුඩා පිළිමගෙයක මෙය සුරක්ෂිතව තිබේ. අඩි තුනහමාරක් හෝ හතරක් පමණ උසැති වැඩහිඳින පිළිමයක් වූ මෙය මට දෙවරක් දකින්ට ලැබුණි. මෙය දැනුත් රන් රුවක් මෙන් බබළමින් තිබේ. “ප්රා සිහිං” (සිංහල පිළිමය) යන නමින් සියම් මිනිසුන් අතර ව්යවහාරයට පත්වූ මෙය එරට ඉතා ප්රකටය.
මහාවංශයේ මෙවැනි අඩුපාඩු ඇතත් මෙය ඉතා වැදගත් ග්රන්ථයකි. මේ අඩුපාඩු පුරවා ගැනීම වර්තමාන ලාංකිකයන් විසින් කළ යුතුය.
මහසෙන් රජුගේ කාලය දක්වා කරුණු දැක්වෙන මහාවංශ කොටස මහානාම මහතෙරුන් විසින් සම්පාදනය යි බොහෝ දෙනෙකුන් පිළිගෙන තිබේ. මහ පැරකුම්බා රජුගේ රාජ්යාවසානය දක්වා වූ කොටස ධර්මකීර්ති මාහිමියන් විසින් රචිතය යි කියත්. මේ ධර්මකීර්ති තෙරනම කුරුණෑගල පරාක්රමබාහු කාලයේ සිටියෙකැයි සිතාගත් (සිංහල මහාවංශයක් ලියූ) ගුණපාල වීරසේකර මහතා ඒ ගැන සැක සිතා ස්වකීය ප්රස්තාවනාවෙහි කරුණු දක්වයි. ඒ කොටසේ කර්තෘවරයා මහාපරාක්රමබාහු කාලයේදීම සිටිය යුතු යයි ඒ මහතා තර්ක කරයි. මහපැරකුම්බා කාලයේදීම රාජගුරු ධර්මකීර්ති නමැති තෙරනමක් සිටිබව ඒ මහතාට දැනගන්ට ලැබී නැත. දූඨාවංශයේ කර්තෘ වූ ධර්මකීර්ති මහතෙර ඒ පොත කෙළේ කලින්තරු වංශයෙහි උපන් පරාක්රම සේනපතියාගේ ආරාධනාවෙනි. මහපැරකුම්බාරජුගේ අගමෙහෙසිය වූ ලීලාවතිය රාජ්යයට පත්කෙළේ මේ සේනපතියා ය. එවිට මේ සේන්පතියාත් දඹකීර්ති මහතෙරත් මහපැරකුම්බා කාලයට අයත් වූවන් බව ඉතා හොඳින් පැහැදිලි වේ. ඒ දෙදෙන මහපැරකුම්බාරජු දිවංගතවූ පසුත් ජීවත්වූවෝය.
ක්රි. ව. 1756 දක්වා ඉතිහාසය ඇතුළත් මහාවංස කොටස ශ්රී සිබාළු බුද්ධරක්ෂිත මහතෙරුන් විසින් ලියනලදී. රාජාධිරාජසිංහ–ශ්රී වික්රමරාජසිංහ යන දෙරජුන් පිළිබඳ ප්රවෘත්ති