ජීවිතය හා ග්‍රහයෝ - හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ 2008.pdf
- කතෘ :
- හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ
- ප්‍රකාශිත වර්ෂය :
- 2008
- මුද්‍රිත වර්ෂය :
- 2008
- පිටු ගණන :
- 461
- බාගත කිරීම් ගණන :
- 17
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්‍රමාණය :
- 38 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ජීවිතය හා ග්‍රහයෝ යනු ප්‍රවීණ වෛද්‍යවරයෙකු මෙන්ම සිද්ධාලේප නිර්මාතෘවරයා වූ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ ශූරීන් විසින් සම්පාදිත ප්‍රකට ජ්‍යොතිෂ ග්රන්ථයකි. තම දයාබර භාර්යාවගේ අභාවයෙන් පසු ජ්‍යොතිෂ ශාස්ත්රයේ සත්‍යතාව ගැඹුරින් පිරික්සා බලා මෙම විෂය පිළිබඳ නිවැරදි විද්‍යාත්මක හා සම්ප්‍රදායික පදනම ජනතාවට පහදා දීම සඳහා එතුමන් විසින් මෙම මාහැඟි කෘතිය සම්පාදනය කර ඇත.
මහාචාර්ය ඇම්. ඩී. ඇල්. ධර්මවංශ, පූජ්‍ය වැලිවිටියේ සෝරත නාහිමි, පූජ්‍ය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි, මහාචාර්ය ඕ. එච්. ද සිල්වා විජේසේකර, මහාචාර්ය ගුණපාල මලලසේකර සහ ජුලියස් ද ලැනරෝල් වැනි විද්වතුන් රැසකගේ සහයෝගය හා උපදෙස් ලබමින් මෙම කෘතිය සම්පාදනය කොට ඇත. ඛගෝල වස්තූන්ගේ පිහිටීම, කේන්ද්‍ර සෑදීම, ෂඩ් වර්ගය, භාව ස්ථාන, දශා හා ගෝචර පලාපල, විවිධ යෝග සහ පොරොන්දම් පරීක්ෂාව ඇතුළු ජ්‍යොතිෂ විෂයයෙහි සියලු ප්‍රධාන අංග චක්‍ර හා රූප සටහන් සහිතව මෙහි විස්තර කෙරේ.
මෙහි ප්‍රථම මුද්‍රණය 1956 දී නිකුත් වූ අතර මෙම අටවන මුද්‍රණය එච්.සී. ඊබට් පෙරේරා මහතාගේ ප්රකාශනයක් වශයෙන් රත්මලානේ සී/ස තුසිත පොත්හල මඟින් 2008 දී ප්‍රකාශයට පත් කර ඇත.
අට වන මුද්‍රණය ගැන වචනයක්..............
වෛද්‍යවරු හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ ශූරීන් විසින් රචිත ජීවිතය හා ග්‍රහයෝ නමැති මාහැඟි ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථයේ තුන්වන මුද්‍රණයේ පිටපත් සියල්ල විකිණී අවසන්ව බොහෝ කලක් යනතුරුත් මෙම ග්‍රන්ථය නැවත මුද්‍රණය නොවීම මෙම ක්ෂේත්රයෙහි නියැලුනන්ට හා ජ්‍යොතිෂ්‍ය ගැන උනන්දුවක් දක්වන්නන්ට විශාල අඩුවක්ව තිබුණි. එම අඩුව වටහාගත් හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ ශූරීන්ගේ පුත්‍ර රත්නයක් වූ හෙක්ටර් හෙට්ටිගොඩ මහතා මෙම අනගි ග්රන්ථයෙහි හතර වන මුද්‍රණය එළිදැක්වීමේ වගකීම මා වෙත පවරනු ලැබූව, 1989 ජූලි මස දිනක ම විසින් එම සත්කාර්ය්යය ඉටුකරන ලද්දෙමි.
එම සන්සිද්ධියේදී මට සහාය වූ විශාල පිරිස අතර සිටි දැනට ජීවතුන් අතර නැති ඇලෙක්සැන්ඩර් ලියනගේ ශූරීන්ගේ නම මෙහිලා කෘතඥතා පූර්වකව සඳහන් කරමි.
ඉක්බිති ගතවූ වසර දහනමය තුල “ජීවිතය හා ග්‍රහයෝ” පොතෙහි හත්වැනි මුද්‍රණයද එළි දැක්වූ අතර අද වන විට එම මුද්‍රණයද සියළු පිටපත් වෙළෙඳ පොළෙහි අවසන්ව ඇත. මෙම මාහැඟි ග්රන්ථයෙහි වටිනාකම වටහා ගැනීමට එම කරුණම හොඳටම ප්‍රමාණවත් බව මගේ හැඟීමයි.
පාඨක රුචිය සන්සිඳලීම වස් අද දින “ජීවිතය හා ග්‍රහයෝ” අට වනවරටත් මුද්‍රණයකර එළි දක්වමි. එහිදී ප්‍රථම කොට මගේ ගෞරවණීය ආචාරය පොතේ කර්තෘවරයාණන් වූ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ ශූරීන්ට පුදකරමි.
දෙවනුව මෙම වටිනා පොතෙහි අටවන මුද්‍රණයත් එලිදැක්වීමේ වගකීම මා හට පැවරූ හෙක්ටර් හෙට්ටිගොඩ මහතාට මගේ ස්තූතිය හිමිවේ. එමෙන්ම මෙම කාර්යයේදී මට නන් අයුරින් සහාය දුන් රත්මලාන ධම්මිකාරාමාධිපති ශාස්ත්‍රපති වීරකැටියේ සීලසුමන හිමි, ඇපෝමුල්ලේ බුද්ධදාස ගම්මන්පිල මහතා ද මේ අවස්ථාවේ කෘතවේදීව සිහිපත් කරමි.
අවසාන වශයෙන් මෙම ග්රන්ථයෙහි අට වන මුද්‍රණයේ සියළු කටයුතු මැනවින් ඉටුකරමින් දෙව්මි ප්‍රින්ටින් සිස්ටම් කළමණාකරු ලලිත් ප්‍රේමකුමාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට සහ කවරය නිර්මාණය කළ පර්ෆෙක්ට් ඩිජිටල් රෙපරේෂන්ස් ආයතනයට ද මගේ ස්තූතිය පිරිනමමි.
එච්.සී.ඊබට් පෙරේරා
ප්‍රකාශක - අටවන මුද්‍රණය
2008 සැප්තැම්බර් 10 දින
සී/ස තුසිත පොත්හල
411, ගාලුපාර, රත්මලාන.
ස්තුතිය !
ජීවිතය හා ග්‍රහයෝ මහා ග්‍රන්ථයේ සියලුම අයිතිවාසිකම් මා වෙත පවරා දීම ගැන ප්‍රථමයෙන් අපගේ ආදරණීය පියතුමාණන් වන වකුගඩු රෝග විශේෂඥ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ මැතිතුමන්ට ගෞරව පූර්වක ප්‍රණාමය පිරිනැමීමද විශාල යුතුකමක් කොට සලකමි.
අපේ පවුල විවිධාකාර පරිසරයන් තුල ජීවත් වූ බැව් පසුගිය අතීතය කථා කරන පැරැන්නන්ගේ මතය වී ඇත. අපගේ මව්ගේ හදිසි මරණයෙන් පසු අපි නම දෙනෙකු පෝෂණය කිරීම තාත්තා, මුත්තා, අත්තා, පුංචි අම්මා, මාමා ඇතුළු තවත් හිතවත් ඥාතීන් විශාල කැපකිරීමක් කල බැව් අපගේ මතකයට නැඟේ.
මාගේ පියා නිතැතින්ම මතකයට එන සෑම විටම සිහිපත්වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්ටද දායාද කළ මාහැඟි ඖෂධයක් වන සිද්ධාලේප නිර්මාතෘවරයාද ඔහුම වූ බැවිනි.
මෙම මහාග්රන්ථය මුලින්ම ලියා එලි කිරීමට හේතුව වශයෙන් අපේ තාත්තා සඳහන් කොට ඇත්තේ අපගේ ආදරණීය ගුණවත් අම්මා වන දෝනා කැරොලින් වික්‍රමරත්න හෙට්ටිගොඩ මහත්මියගේ හදිසි මරණයයි. ඒ මරණය නිසා අපේ තාත්තාට මෙම වටිනා ශාස්ත්රයේ ඇති සත්‍යතාවය අවබෝධ වීමයි.
මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය රටවල් වලද ජ්‍යෝතිෂ්‍ය විශාරදයන්ටද, ආධුනිකයන්ට ද විශාල මෙහෙයක් සිදුවී ඇති බව සඳහන් කරන්නේ හද බැඳි ප්‍රීතියෙනි.
මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් මෙතෙක් දැනුම ලබාගත් අයටද ඉදිරියට දැනුම ලබාගන්නා අයටද ශාස්ත්‍ර ඥාණය පහල වේවා.
අපගේ තාත්තාගේ අභාවයෙන් පසු මෙම ග්‍රන්ථය අටවන වරටත් ඉතාමත් අලංකාර අන්දමින් මුද්‍රණය කරවා පාඨක ඔබ අතට පත් කිරීමට මාගත් උත්සාහයේ නියම ප්‍රථිපල ලබා දීමට විශාල පරිශ්‍රමයක් ගත් රත්මලානේ සීමාසහිත තුසිත පොත්හල හිමි එච්.සී.ඊබට් පෙරේරා මැතිතුමා ඇතුළු එම කාර්ය මණ්ඩලයට මාගේ අවංක ආදර ස්තූතිය නිතැතින්ම හිමිවේ.
අපගේ ජීවිතවලට සම්මාදන් වූ සියලුම දෙනා ගෞරව පූර්වකව සිහි කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
හෙක්ටර් හෙට්ටිගොඩ (සාම විනිසුරු)
අංක 6, 7 වැනි පටුමග, නෙළුම්පුර,
රත්මලාන.
සංඥාපනය
මා ඉන්දියාවේ වෙදකම සම්බන්ධ කටයුතු කරන අතරම ජ්‍යොතිශ් ශාස්ත්‍රය ද ටිකක් ඉගෙන ගතිමි. එහෙත් එය ප්‍රසිද්ධ වශයෙන් භාවිතා කළේ නැත. මාගේ ගුණවත් භාර්‍ය්‍යාවගේ මරණයෙන් මේ ශාස්ත්රයේ තිබෙන සත්‍යතාවය මට අවබෝධ විය. එම නිසා මෙතරම් උසස් ශාස්ත්‍රයක් අඳුරේ තිබෙන්ට හැරීම යුතු නැතැයි මට වැටහිණ. දැනට එහි පළ ලැබීමට බැරි තරමට මෙය ව්‍යාකූල වී තිබේ. මේ ශාස්ත්‍රය බොරුවක් හැටියට, නැත්නම් බොරුකාරයින්ගේ වෘත්තියක් හැටියට නවීන උගතුන් යයි කියනු ලබන අය පිළිගෙන සිටිත්.
ලෝකයේ කිසිම කලක, කිසිම රටක, කිසිම උගතෙකුට මෙය බොරු කළ නොහැකි විය. බොරු කිරීම පිණිසම ඉගෙන ගත් අය අන්තිමට එහි ගැත්තෝ වූහ. එම නිසා මෙය ඉගෙන ගෙන නියම පළ ලබනව දකින්ට කැමැත්තෙමි.
මේ පොත ලිව්වේ මගේ ගුණවත් භාර්‍ය්‍යාව සිහිවීම පිණිසයි.
හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ
සිද්ධාලේප ඖෂධාලය,
වල්පල - ඉඹුල්ගොඩ.
28.11.1967
මාගේ ස්තුතිය
ජ්යොතිශ්ශාස්ත්රය වැනි පරතෙරක් නොපෙනෙන සියුම් ශාස්ත්‍රයක් සම්බන්ධ අංග සම්පූර්ණ පොතක් ලිවීමට විශාල පොත් සංඛ්‍යාවක් කියවිය යුතු බවත්, ඒ විෂය පිළිබඳ දැනුම් තේරුම් ඇත්තන් සමග සාකච්ඡා කළ යුතු බවත් මා නොකීවාට මේ කියවන්නාට වැටහෙනවා ඇත. පළමුකොටම පෙර අපර දෙදිග ඒ පොත් කර්තෘන්ට මාගේ යටහත් අවංක ස්තූතිය ගෞරවයෙන් පිරිනමමි.
දෙවනුව මවිසින් ලියන ලද විශාල අත්පොත සම්පූර්ණයෙන්ම කියවීමෙන් එහිවූ අක්ෂර දෝෂ නිදොස්කර මට උපකාර කළ අද ජීවතුන් අතර නැති ලංකා විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳ මහාචාර්ය ධුරය දැරූ ඇම්. ඩී. ඇල්. ධර්මවංශ මහතාත් ස්තුති පූර්වකව සාදරයෙන් සිහි කරමි.
ඊළඟට ගෞරවයෙන් සඳහන් කළයුත්තේ විද්‍යොදය පිරිවෙන්හි උප ප්‍රධාන වැලිවිටියේ සෝරත නායක මාහිමියාණන් වහන්සේත් විද්‍යාලංකාර පිරිවෙන්හි උප ප්‍රධාන යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම-නායක මාහිමියාණන් වහන්සේය. මේ උතුමන් දෙපොළගේ ආධාරයෙන් බුද්ධ කේන්ද්‍රය සම්බන්ධ පරිච්ඡේදය ලිවීමේදී මට ඇතිවූ පැටලිලි තත්වයන් විශේෂයෙන් කාල පරිච්ඡේදය පිළිබඳ පැටලිලි තත්වයන් නිරාකරණය කරගත් බව මතක් කරමි.
ලංකා විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂාව පිළිබඳ මහාචාර්ය ඕ. එච්. ද සිල්වා විජේසේකර මහතා මේ පොත වෙනුවෙන් ගත් උනන්දුවට සෑහෙන තරම් ස්තුති ප්‍රශංසාවක් මට කිසි කලක කළ නොහැකි බව එක හිතින්ම ප්‍රකාශ කරමි.
සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන තැන්පත් ජුලියස් ද ලැනරෝල් මහතා කොතෙක් වැඩ තිබුණත් මේ ගැන තද ආශාවක් දක්වා කීප විටක් ම පොත කියවා කරුණු පිළියෙල කිරීමට උපදෙස් දීම ගැන මාගේ ණයගැති භාවය ස්තුති ප්‍රශංසාදියෙන් නිදහස් වේ යයි සිතිය නොහැකි තරමය.
මේ පොතේ සඳහන් කරුණු සම්බන්ධව සැක හැර ගැනීමට සුප්‍රසිද්ධ ජ්යොතිශ්ශාස්ත්රඥයින් ස්වකීය නිවසට කැඳවා, සාකච්ඡා සභාවන් ඇති කර වාද විවාද කර තීන්දුවට බැස ගැනීමට හැම අතින්ම මට ආධාර කළ මාගේ හිතවත් හියුබට් රාජපක්ෂ මහතාට කළයුතු ස්තුති ප්‍රශංසාව කුමක්ද?
අයනය සම්බන්ධ කරුණු විස්තර කිරීමට අඳින ලද අංක 16 දරණ සටහන පිළියෙල කර ගැනීමට උපකාර කළ ආකාශ වස්තු පරීක්ෂණාගාරයේ ප්‍රධාන තැන්පත් ආචාර්ය්ය දසනායක මහතාට මාගේ විශේෂ දයාන්විත ස්තූතිය පුදවිය යුත්තේ එය විසඳා ගැනීමට මා විසින් ගත් උත්සාහයේ ප්‍රමාණයත් ගත කළ කාලයේ ප්‍රමාණයත් ගැන සිතීමෙන් නොව ඒ මහතා ඒ සඳහා ගත් උනන්දුවේ හා කළ සේවයේ අගය සැලකීමේ ප්‍රමාණය පදනම්වෙනි.
මේ පොත ලියන්ට අදහස් කළ දා සිට අන්තිමට කී මේ දසනායක මහතා මුණ ගස්වාදීම දක්වා වූ සියලු කටයුත්තකදී ම නියම හිතවත් අනුශාසකයෙකු හා ආධාර කාරයෙකු ලෙස මට උදව් දුන් මහාචාර්ය මලලසේකර මහතාට මාගේ භක්ත්‍යාදරය පුදකරමි.
අන්තිමට ආදරයෙන් සඳහන් කළ යුත්තේ මේ පොතේ සියලු කරුණු ගැනම වාද විවාද කර එක් එක් කරුණක් පාසා හේතු යුක්ති සොයා තීන්දුවට බැස ගැනීමට මට සහාය වූ මාගේ පුත්‍ර සිරිදාස හෙට්ටිගොඩ මහතා ගැනය. ඔහුගේ ආධාරය නොවී නම් මේ පොත මෙතරම් ක්රමානුකූල නොවී යන්ට බැරි නැත.
කර්තෘ