තේලකටාහ ගාථා - බී.ඇස්. පියසේන 2010.pdf

කතෘ :
බී.ඇස්. පියසේන
ප්‍රකාශිත වර්ෂය :
2010
මුද්‍රිත වර්ෂය :
2010
පිටු ගණන :
52
බාගත කිරීම් ගණන :
5
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-14
ගොනුවේ ප්‍රමාණය :
7.5 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 27

තේලකටාහ ගාථා යනු කැළණිතිස්ස රජ සමයේ රජු විසින් තෙල් කටාරමක බහා මරණයට පත් කරනු ලැබූ සිල්වත් රහතන් වහන්සේ නමක් විසින් එම මොහොතේ දේශනා කරන ලදැයි ප්‍රකට ගාථා සියයකින් සමන්විත ප්‍රකට පාලි ධර්ම කාව්‍යයකි. වසන්තතිලකා වෘත්තයෙන් බැඳි මෙම ගාථා රත්නයන්හි තෙරුවන් ගුණ, අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය, අසුභය, මෙත්තා භාවනාව සහ හේතුඵල ධර්මතාව ආදී ගම්භීර බෞද්ධ ඉගැන්වීම් අලංකාර ලෙස සංග්‍රහ වී ඇත.

මෙහි අර්ථ විවරණය 1961 දී පණ්ඩිත බී.ඇස්. පියසේන මහතා විසින් සම්පාදනය කරන ලද අතර, උන්වහන්සේගේ ශාස්ත්‍රීය සංස්කරණය පාදක කරගනිමින් කොට්ටාවේ සුමන හිමියන් විසින් මෙම සංස්කරණය සකසා ඇත. මුද්‍රණය සිකුරු පොත් ප්‍රකාශකයන් විසින් සිදුකොට ඇති අතර ප්‍රතිපත්ති ශාසනහිත යෝගාවචර සංගමය මගින් 2010 දෙසැම්බර් මස ධර්මදානය සඳහා ප්‍රකාශයට පත් කර තිබේ.

මේ පොත ගැන

පසුගිය දිනක එක්තරා දේශකයන් වහන්සේ නමක් තේලකටාහ ගාථා ඇසුරු කොට ගුවන් විදුලියෙන් ධර්ම දේශණාවක් කළහ. මා දැක නැති තේලකටාහ ගාථා නමැති පොත සොයා ගැනීම සඳහා බලවත් උත්සාහයක් ගත්තෙමි. එහෙත් උත්සාහය අසාර්ථක විය. අවසානයේ රිලාවල සුසීමාරාමාධිපති රාජකීය පණ්ඩිත සේදවත්තේ පඤ්ඤාවාස හිමිපාණන්ට කතාකල එම පොත තිබෙන බව දැනුම් දුන්හ. මම එවලේම ගොස් පොත ලබාගෙන ෆොටෝ කොපි කරගතිමි. එය නවසිය හැටඑකේ පණ්ඩිත බී. ඇස්. පියසේන මහතා විසින් අර්ථ විවරණය කරන ලද්දකි. පසුව පොත මුද්‍රණයට සකස් කළෙමි. මෙහි ඉතාම අර්ථවත් ගාථා 100 ක් ඇතුළත් කළෙමි. එමගාථා සියල්ලම තගණ එකක්, භගන එකක්, ජගණ දෙකක්, ගුරු දෙකක් වශයෙන් අක්ෂර 14 කින් යුතුව මිහිරි මධුර කර්ණරසායන වසන්ත තිලකා යන වෘත්තයට අනුව ප්‍රබන්ධ කර ඇත. එය මෙසේය.

ලංකිස්සරෝ ජයතු වාරණරාජගාමී --,--,-,-,

ගාථාවල සිව්පදයම මෙසේ යෙදී ඇත. එම නිසා මේ ගාථා කියවන විට සිත නිවෙයි. සිතට මහත් සැනසිල්ලක් ගෙනදේ. මෙම ගාථා සියය කළ්‍යාණිය රහතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. වෙනත් වියත් පඬිවරයෙක් විසින් මෙය රචනා කරන ලද්දේදැයි ඇතැම් කෙනෙක් කියති. කාරණය කෙසේ වෙතත් අර්ථ රසයෙන් අනූන වූ මෙම ගාථාවල වටිනකම කියා නිමකල නොහැක.

බෞද්ධ ජීවිතයකට මේ පොත පරිශීලනය කොට ඒ අනුව ප්‍රායෝගික වශයෙන් කිරීමට ප්‍රමාණවත් වේ යයි සිතමි. මෙවැනි පොතක් මුද්‍රණය කොට ජනතාව අතට පත්කිරීමට ලැබීම සතුට දනවන කාරණයකි. මේ පොත බෙදාහැරීමෙන් ජනිත කුශල බලයෙන් පරලෝ සැපත් පණ්ඩිත බී. ඇස්. පියසේන මහතාට හිමි වී ධර්මාවබෝධය වේවා. පොත ලිවීමට උපකාර කල ජල්තර විද්‍යා චන්ද්‍රකාන්ති පොඩිමැණිකියන්ටත්, හංසිනී මධුෂිකා මෙනෙවියටත් මේ පින් හිමිවේවා. සම්බෝධි යෝගාශ්‍රමයේ ස්වාමීන් වහන්සේලා ඇතුළු සැමට හිමිවේවා. ඒ මේ අප සැමට නිවන්සුව අත්වේවා.

මීට
කොට්ටාවේ සුමන හිමි.

සංඥාපනය

තේලකටාහ ගාථා නම් මේ මාහැඟි ග්‍රන්ථය වනාහි මෙයින් අවුරුදු දෙදහසකට පමණ පෙර සිරිලක කැළණියේ රජකළ කැළණිතිස්ස රජු විසින් සිල්වත් ගුණවත් සිය ගුරුවර කුල දෙවි කෙනකුන් මැරවීමේ බිහිසුණු අපරාධය රැව් පිළිරැව් දෙවන සංවේග ජනක කරුණ නිසා බිහි වූ කාව්‍යයෙකි. පාළියෙන් රචිත මෙහි ගාථා එක් සියයෙකි. මේ ග්‍රන්ථයේ එන කරුණු හොඳින් ඉගෙන ගැනීමෙන් හා ඒ අනුව පිළිපැදීමෙන් දුර්ලභ වූ මිනිසත් බව සරුකර ගැනීමට සිංහල දත් සෑම කෙනෙකුන්ටම ලැබෙන වරය සුලුපටු නොවේ. ඒ තරමටම ධර්ම රසය මෙහි කාවැද්දී තිබෙන හෙයිනි. යමක ශ්ලේෂාදි දුෂ්කර බන්ධන වලින් තොර හෙයින් පාළි රචනා විධිය සුමධුර වී ඇත.

ආචාර්ය ගුරුළුගෝමීන්ගේ ධර්මප්‍රදීපිකාවට ද මේ පොතින් ගාථා උපුටාගෙන තිබීමම තේලකටාහ ගාථාවේ අගය සිය ගුණයෙන් වැඩිකර පෙන්වන හොඳ සාධකයෙකි. මෙහි එන ගාථා සියයෙන් ධර්මදේශනා සියයක් කිරීමට හැකි බව උගත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ අදහසයි. සෑම බෞද්ධයෙකු විසින්ම නිති පුරුදු කළ යුතු තෙරුවන් ගුණ සිහිකිරීමේ පටන් පරම ගම්භීර පටිච්ච සමුප්පාද ධර්මය තෙක් වූ බෞද්ධ දර්ශනාවභාසයෙන් හෙබි මේ කාව්‍යය නිතර කියවන විට පෙළ නොදන්නා කෙනෙකුන්ගේ වුවද කණට මහත් සතුටක් හා මිහිරක් ලැබේ.

මෙයින් අවුරුදු හැට හැත්තෑවකට පමණ පෙර “The Dying Rahat’s Sermon” යන නමින් මේ තේලකටාහ ගාථා පොත ඉංග්‍රීසි අකුරෙන් හා තත්පරිවර්තනයෙන් යුක්තකොට ඇමෙරිකාවේදී මුද්‍රණය කරන ලදී. අපට දැනගන්නට තිබෙන කරුණු අනුව ගාලු පලාතේ හීනටිගල විසූ සී. සමරසිංහ මහත්මානන් විසින් එය එසේ පිළියෙල කොට තිබේ. එහි ගාථා අනූ අටකි. 98 වැනි ගාථාවේ එන අදහසම 99 සහ 100 වැනි ගාථා වලටත් කාවැද්දී තිබෙන බැවින් අවසාන ගාථා දෙක ප්‍රතික්ෂිප්ත වී යයි සිතේ. බොහෝ සෙයින්ම තේලකටාහ ගාථාවේ මුල කොටසෙහිම මෙවැනි සමානකම් බොහොමයක් දක්නට ලැබේ. ධර්මයක් විස්තර කෙරෙන තැන්හිලා මුලින් කී දෙයම නැවත වරක් එම වචන වලින් හෝ ඒ අර්ථ ඇති වෙන වචන වලින් හෝ කීම පෙළ අටුවාවලද දක්නා ක්‍රමයෙකි. “චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි” යනු ඒ විදියේ වැණුමෙකි. ඒ නිසා එක තැනකට සමාන ලෙස තවත් තැනෙක ධර්මය පිළිබඳ විස්තරයක් තිබීම වරදක් නොවේ. පුනරුක්තය බෙහෙවින් බලපාන්නේ කාව්‍ය ශාස්ත්‍රයටයි. කරුණු මෙසේ හෙයින් 99 හා 100 වැනි ගාථා දෙක බැහැර කැරුම නුවුමනාවෙයි. නුසුදුසු ද වෙයි. තේලකටාහ ගාථා පැරණි පිටපත් සමහරක ගාථා 98 ක් හා සමහරක 100 ක් ද තිබෙන්නේ මෙහි මුලින් කී මතභේදය නිසා විය හැකිය යනු අපගේ අදහසයි.

කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපතිව වැඩ විසූ හික්කඩුවේ සුමංගලාභිධාන නායක මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ උයන්ගොඩ පියතිස්ස ස්වාමීන් විසින් 1900 දී පාළි-සිංහල අර්ථ සහිත පෙළ යුක්ත කොට තේලකටාහ ගාථාව මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන ලදී. පසුව ඔහු යූ.පී. ඒකනායක නමින් ගිහිවිය. දිවංගත යූ.පී. ඒකනායක මහතා විසින් 2469-1926 දී ද මේ ග්‍රන්ථය පදගත සන්නයකුත් සමඟ පිටු (6+40=) 46 කින් යුක්ත කොට මුද්‍රණය කරවා ප්‍රසිද්ධියට පමුණුවන ලද්දේය. ඊට පසුව වස්කඩුව පලාතේ උගත් ස්වාමීන් වහන්සේ නමක් විසින් ද මේ පොත උඩින් පෙළ හා යටින් පදගතාරථ සන්න සහිත කොට මුද්‍රණය කරවා තිබුණු බව අප දැක ඇති නමුත් කර්තෘ ස්වාමීන් වහන්සේගේ නාමය දැනට මතක නැති බව කණගාටුවෙන් සිහිපත් කරවමු.

විද්‍යෝදය පිරිවෙණේ ම ආදි ශිෂ්‍යයෙකු වූ පී.කේ. ඩබ්ලිව් සිරිවර්ධන මහත්මාණන් විසින් ද 1935 පමණේදී තේලකටාහ ගාථාව ‘ධර්මාර්ථවාහිනී’ නම් භාව සන්නයක් සමග මුද්‍රණය කරවා ප්‍රකාශයට පමුණුවන ලද්දේය. හික්කඩුවේ නායක මාහිමියන් වහන්සේ ගේ කීර්තිමත් ශිෂ්‍යයෙකු වූ කොළඹ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ විසූ පැලෑණේ සිරි වජිරඤාණ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ද භාව සන්නයක් සහිතව මෙම ගාථා පිළියෙල කර තිබෙන බව පෙනේ. උන්වහන්සේගේ ඒ භාවසන්න සහිතවූ තේලකටාහ ගාථාවේ මුල් ගාථා තෙළෙස (13) මින් දෙතුන් මසකට පමණ පෙර බෞද්ධ ළමයා සඟරාවේ ප්‍රසිද්ධ විය. තේලකටාහ ගාථාව ඉන්දියා මහාබෝධි සමාගමය මගින් නාගරී අකුරෙන් මුද්‍රණය කර ඇත. එම සමාගමය මගින් මේ ග්‍රන්ථය හින්දි භාෂාවට ද පරිවර්තනය කර තිබේ.

සියම් බුරුම ආදි රටවල ද මෙය පාළි පාඨය සහිතව තත්තද්භාෂාවනට නගා ප්‍රසිද්ධ කර ඇතැයි අපට දැන ගන්නට ලැබුනේය. මෙම විස්තරයෙන් ඒතද් ග්‍රන්ථ රත්නයට ලෝවැස්සා තුළ ඇති ගෞරවාදරය මැනවින් පෙනී යයි.

අපගේ සංස්කරණයෙහි පාඨ ශුද්ධිය කියවා බලන විද්වතුන්ට මුල් මුද්‍රණවල එන විරාගත ලිපිදෝෂ කොතෙකුත් දුරට නිරාකරණය කර තිබේදැයි හොඳින් වටහා ගැනීමට හැකිවනු ඇත. පැරණි මුද්‍රිත පොත්වල 6,8,9,20,26,33,41,66,97,100 යන අංක දරණ ගාථා හා එහි අරුත් ද බලා අපගේ සංස්කරණයට ද නෙත් යොමු කළ විට මෙහි වෙනස කැපී පෙනෙනවා ඇත.

සිංහල බෞද්ධයා පත්‍රයේ මැතදී ප්‍රසිද්ධ වූ මේ සංස්කරණය දැක පැහැදී කොළඹ වැල්ලවත්තේ නිවැසි විද්වත් පී.ඩී. රත්නතුංග මුදලි තුමා විසින් දැනට අතිශයින් දුර්ලභ වූ ග්‍රන්ථයක් වන මෙය පොතක් වශයෙන් මුද්‍රණයට සකස් කරන්නට අපට කළ ඇරයුම නිසා අනවකාශතා මධ්‍යයේ වුවද මේ සත් කෘතියෙහි ව්‍යාපෘත වූමු.

දකුණුලක ගිරිවාපත්තුවේ අරන්වෙල පදිංචිව සිට නැසීගිය පින්වත් ජේ.ඩී. රත්නතුංග මැතිතුමන්ගේ විධවාපන්නිය වන දැනට කොළඹ බම්බලපිටියේ ඊබට් පෙදෙසේ නිවැසි සෝමවතී විජයසිංහ රත්නතුංග මැතිනිය විසින් මේ පොත පිළිබඳ මුද්‍රණ ශාස්තු සම්පූර්ණයෙන්ම ගෙවන ලද බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. දහම් පොත් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීමට එම මහත්මීන් කලක පටන් අදහස් ඇතිව සිටි බවද සතුටින් දැන ගතිමු.

මේ සත්කෘතියෙහිලා අප උත්සාහවත් කළ දෙමටගොඩ ඤාණවිමලාරාමාධිපති පණ්ඩිතාචාර්ය සිරිසුගත විනයාලංකාර වැලිතර ශ්‍රී ඤාණවිමලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට හා තච්ඡිෂ්‍ය කාව්‍ය විශාරද විද්වත් වැලිතර ශ්‍රී ඤාණානන්ද ස්වාමීන් වහන්සේට හා සිංහල බෞද්ධ කර්තෘ රාජා වී. ඒකනායක මහතාටද අපගේ ගෞරවාදර ස්තුතිය පුදකරනු ලැබේ.

මෙවැනි කෘත්‍යයකට අත ගැසීමට තරම් අපට ශක්තියක් ලබාදුන් පිළිවෙලින් අපට ධර්ම ශාස්ත්‍රය උගැන්වූ උඩුවර බෝධිරුක්ඛාරාම විහාරාධිපති ව වැඩ විසූ පණ්ඩිතාචාර්ය උඩුවර රත්නසිරි තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ, විද්‍යෝදය විශ්ව විද්‍යාලයයේ සිංහල බෞද්ධ සංස්කෘත මහාචාර්ය පණ්ඩිත දෙහිගස්පේ ශ්‍රී ප්‍රඥාසාර (B.A. Hons, Phd) නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, එම විශ්වවිද්‍යාලයාධිපති සාහිත්‍ය චක්‍රවර්තී පණ්ඩිත සර්වභෞම වැලිවිටියේ ශ්‍රී සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය පිළිබඳ මහාචාර්ය පණ්ඩිත පලන්නොරුවේ ශ්‍රී සිද්ධාර්ථ විමලධම්මාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, විද්‍යෝදය පරිවේණාධිපතිව වැඩ විසූ බද්දේගම ශ්‍රී පියරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා කහවේ ශ්‍රී සුමංගල රතනසාරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද යන කරුණා මෛත්‍රී මූර්ති සම්පන්න වූ ගුරු උතුමන් වහන්සේලා කෘතගුණ යෙහි පිහිටා සිහිකරන්නේ මහත් ගෞරවයෙන් හා ආදර භක්තියෙනි.

විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙහි සාමාන්‍ය ශාස්ත්‍රවේදී (බී.ඒ) උපාධි විභාගයට පෙනී සිටීම සඳහා බාහිර ශිෂ්‍යයෙකු වශයෙන් ඉගෙනීමේ යෙදී සිටි අවස්ථාවක මෙය සකස් කරන ලද බැවින් මෙහි යම් යම් අඩුපාඩු ඇතිවුවහොත් එය පුදුමයක් නොවිය හැක. පුහුදුන් හැම දෙනාම වරදින සුල්ලන් බැවිනි. එබන්දක් පෙනේ නම් ඒ ගැන ඊර්ෂ්‍යා පරවශ නොවූ බුද්ධිමත්හු අප කෙරෙහි කමත්වා.

මෙම පොතේ සමහර පිටුවල අඩෝ ලිපිවල ‘මු’ යන්නෙන් දක්වන්නේ අප විසින් දක්නා ලද ලංකාවේ මුද්‍රිත අන්‍ය තේලකටාහ ගාථා පොත් යන්නයි. ‘කත්ථවි’ යන වචනයෙන් හැඟැවෙන්නේ ඇතැම් පැරණි පිටපත් බව සැලකිය යුතුය.

2505 / 1961 දෙසැම්බර් 14 දින
කොළඹ නමයේ දෙමටගොඩ පාරේ, පෙලාර්ස් පටුමාවතේ, අංක 67/123, දරණ නිවසේදීය.