අභිධම්මත්ථ විභාවිනී ටීකාව - සුමංගල හිමි 2010.pdf
- කතෘ :
- සුමංගල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2010
- මුද්රිත වර්ෂය :
- 2010
- පිටු ගණන :
- 540
- බාගත කිරීම් ගණන :
- 5
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 134 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධම්මත්ථ විභාවිනී ටීකාව යනු අනුරුද්ධ මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත අභිධර්මාර්ථ සංග්රහය සඳහා පොළොන්නරු යුගයේ වැඩ විසූ සුමංගල මහා ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්රකට ටීකා ග්රන්ථයයි. මෙහි දැක්වෙන්නේ රාජකීය පණ්ඩිත නිතලව සිරි ඤාණිස්සර (ඤාණේශ්වර) නායක ස්වාමීන් වහන්සේ විසින් රචිත පාලි පෙළ සහ සිංහල සන්න සහිත අනුවාදයයි.
බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය මඟින් ටීකා ග්රන්ථ මාලාවේ 3 වන අංකය ලෙස 2010 වර්ෂයේදී ප්රකාශයට පත් කරන ලද මෙම කෘතිය, අභිධර්මයේ ගැඹුරු කරුණු විස්තරාත්මකව හැදෑරීමට මහඟු උපකාරයකි.
මෙහි අඩංගු ප්රධාන පරිච්ඡේද:
- පළමුවැනි පරිච්ඡේදය - චිත්ත සඞ්ගහො
- දෙවැනි පරිච්ඡේදය - චෛතසික සඞ්ගහො
- තෙවැනි පරිච්ඡේදය - පකිණ්ණක සඞ්ගහො
- හතරවැනි පරිච්ඡේදය - වීථි සඞ්ගහො
- පස්වැනි පරිච්ඡේදය - වීථි මුත්ත සඞ්ගහො
- සයවැනි පරිච්ඡේදය - රූප නිබ්බාණ සඞ්ගහො
- සත්වැනි පරිච්ඡේදය - සමුච්චය සඞ්ගහො
- අටවැනි පරිච්ඡේදය - පච්චය සඞ්ගහො
- නවවැනි පරිච්ඡේදය - කම්මට්ඨාන සඞ්ගහො
ප්රස්තාවනා
ටීකා.
“පරියත්ති සාසනම්පි තෙපිටකං බුද්ධ වචනං සාට්ඨකථාපාලි’” පර්යාප්ති ශාසනය නම් ත්රිපිටක බුද්ධ වචනය හෙවත් අටුවා සහිත පෙළයි’
“තෙපිටකං බුද්ධවචනං පරියාපුණි තබ්බමෙතං පරියත්ති අනුසාසනත්ථෙන සාසනන්ති කත්වා පරියත්ති සාසනන්ති වුච්චති”
ත්රිපිටක බුද්ධ වචනය පුහුණු කටයුතු, ඉගෙන ගත යුතු සජ්ඣායනා කටයුතු, වාචෝද්ගාත වශයෙන් දරාගත යුතු යන අර්ථයෙන් පර්යාප්තියයි ද, විනෙය ජනයාට උතුම් අනුශාසනයක්ය සත්පුරුෂයන්ට උතුම් අනුශාසනා දේශනාවක්ය යන අර්ථයෙන් ශාසන නම් ද වේ. සියලු බුද්ධ වචන රාශිය පර්යාප්ති ශාසනයයි.
මෙම පර්යාප්ති ශාසනය චිරාත් කාලයක් පවත්වා ගෙන යාම සඳහා මහා කාශ්යප මහ රහතන් වහන්සේ ප්රධාන මහ රහතන් වහන්සේලා විසින් සංගායනා පවත්වන ලදී.
ශාසනයට යම් යම් විපත්තිත් පැවති අවස්ථා වලදී දෙවැනි තුන්වැනි සංගායනා ද රහතන් වහන්සේලා විසින් කරන ලදී.
භාග්යවතුන් වහන්සේ ධරමාන කාලයේම දඹදිව මාගධී ව්යවහාරය අහෝසි විය. මහ රහතන් වහන්සේලා ප්රකීර්ණක දේශනා වශයෙන් කට පාඩමින් ත්රිපිටකය රැකගෙන ආහ. එම ත්රිපිටකය මිහිඳු මාහිමියන් විසින් මෙහි ගෙන එන ලද්දේය.
ත්රිපිටකයේ දුරවබෝධ තැන් සුබෝධ කරමින්, වඩාත් නිවැරදිව පහසුවෙන් වටහා ගැනීම සඳහා සිංහල මහ රහතන් වහන්සේලා විසින් මිහිඳු මාහිමියන්ගේ ගුරුපදේශයෙන් හෙළටුවා ලියූහ. හෙළටුවා 19 ක් ගැන නාමමාත්රිකව හෙළි වී ඇත. භික්ෂූන්ගේ පරිභෝගයේ පැවති මෙම හෙළටුවා බුද්ධ වර්ෂ 953-975 මහානාම රජු දවස ලක්දිව වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට නගන ලදී.
මේ අනුව ත්රිපිටක බුද්ධ වචනය ලංකාවට ගෙන ඒම, එම ත්රිපිටකය සඳහා හෙළටුවා ලිවීම, එම හෙළටුවා පාලි භාෂාවට නැගීම, ත්රිපිටකය සහ අටුවා පුස්කොළ පොත් වල ලිවීම යන මේ සියල්ල අනුරාධපුර යුගයේ දී සිංහල රජවරුන්ගේ දායකත්වයෙන් මහ සඟරුවනේ කැප වීමෙන් සිදු කෙරුණු බව ඉතිහාස නයින් ඔප්පු වේ.
දක්ෂිණ භාරතීය ආක්රමණ, අනුරපුර ආර්ථිකය පිරිහීම, අනුරපුර යුගයේ අවසානයේ දුර්වල රජවරුන් බිහි වීම ආදී හේතූන් සම්භාරයක් නිසා අනුරපුර රාජධානිය බිඳ වැටී අපේ සිංහල රාජධානිය පොළොන්නරුවට මාරු විය. සිංහල රාජධානි නිරිතදිගට සංක්රමණය වීමේ පළමු වන පියවර එය විය.
ක්රි. ව. 1017 පටන් ක්රි. ව. 1235 දක්වා කාලය පොළොන්නරු යුගය වශයෙන් හැඳින්වෙයි. මෙම යුගයේ සිටි ප්රතාපවත් මහ රජ පළමුවන පැරකුම්බා මහ රජය. පර සතුරු උවදුරු දුරු කොට ලංකාව එක් සේසත් කළ මහ පැරකුම්බා රජ, බුදු සසුන ආරක්ෂා කිරීමේ මහා පුණ්ය කර්මය දෙසට යොමු විය. මේ වන විට සඟ සසුන කොටස් කිහිපයකට කැඩී බිඳී වෙන් වී පැවතිණ. පැරකුම්බා රජ සියළු සංඝයා කැඳවා සංඝ සම්මේලනයක් පවත්වා, තුන් නිකාය එක් කොට, පොළොන්නරු කතිකාවත පනවා, ඒ කතිකාවත අනුව මහණදම් රකින්නට අපොහොසත් අය සිවුරු හරවා ඔවුන්ට රාජ්යයේ රැකියා ලබා දුන්නේය.
මේ සඟ සමුළුවේ දී ගත් එක් වැදගත් තීරණයක් වූයේ අටුවා කතා වලට ටීකා සැපයීමයි.
“ටීකා” යනු අටුවාවන්හි ගැටළු තැන් විස්තර කිරීම පැහැදිලි කිරීම සඳහා ලියැවුණු පොත්ය. ලීනත්ථප්පකාසිනී, ලීනත්ථ වණ්ණනා යන වචන ටීකා කරණය සඳහා පාවිච්චි කර ඇති වචනයි. “ලීනත්ථ” යන්නෙන් අදහස් කර ඇත්තේ සැඟවුණු තේරුම්, සැඟවුණු අර්ථ යන්නයි. ඒ අනුව අටුවාවල සැඟවුණු තේරුම්, සැඟවුණු අර්ථ පැහැදිලි කිරීම ටීකාවන්හි කාර්යයි. පරමාර්ථයයි. අනුරපුර යුගයේ සිට පැවත ආ මහා විහාර අධ්යාපන ක්රමයේ දෙවන මූලධර්මය ටීකාකරණය වන්නේය.
ඉහත සඳහන් කළ මහ පැරකුම්බාවන්ගේ ශාසන සංශෝධන සංඝ සභාවේ මුලුසුන ගත්තාහු දිඹුලාගල කාශ්යප මහ තෙරණුවෝය. දෙවැනි තුන්වැනි තැන් ගත්තේ ටීකාචාර්ය සාරිපුත්ත හා මොග්ගල්ලාන මාහිමිවරුන්ය. මේ අනුව දිඹුලාගල කාශ්යප මාහිමියෝ අසම සම ටීකාචාර්යවරයාණෝය. උන් වහන්සේ මහා සාමි - සංඝරාජ පදවි වලින් පැරකුම්බා රජු විසින් පුදනලදහ. උන් වහන්සේගේ ශිෂ්යයාණෝ සාගරමති සාරිපුත්ර ස්ථවිරයාණෝය.
පොළොන්නරුවේ පැවති ජේතවනාරාම පිරිවෙන ටීකා ක්රමය උගන් වූ කේන්ද්රස්ථානය විය. සාගරමති ශ්රී සාරිපුත්ත හිමියෝ මෙය පිහිටු වූහ. ටීකා ලිවීම සඳහා භික්ෂූන්ට පැවරූ පැරකුම්බා රජ ඒ සඳහා ශාලා දෙකක් කරවීය. ටීකා ලිවීමට අවශ්ය පුස්කොළ, පන්හිඳ ආදී සියලු උපකරණ ද සිවුපසය ද රජය මගින් සම්පාදනය කරන ලදී. එහි ආවතේව කළ ගිහියන්ට රජයෙන් වැටුප් ගෙවන ලදී.
දිඹුලාගල කාශ්යප මාහිමියන් විසින් සමන්තපාසාදිකාවට විනයත්ථමඤ්ජුසා විනය ටීකාව ලියන ලදී. අභිධම්මත්ථ සංගහ ටීකාව සාගරමති සාරිපුත්ත තෙරුන් විසින් ලියන ලදී. මහින්ද සේල පිරිවෙනේ ත්රිපිටක වාචිස්සර හිමි පටිසම්භිදා මග්ග ටීකාව ද, චෝළ කුලන්ත හිමි විනයත්ථමඤ්ජුසා කඞ්ඛාවිතරණී ටීකාව ද ලියූහ. සමහරවිටක පොත් වල කොටස් සඳහා ද ටීකා ලියා ඇත. දීඝනිකායේ සීලක්ඛන්ධ වර්ගයට පමණක් ලියූ ටීකාවක් වේ. අට්ඨසාලිනියේ ආරම්භක ගාථා 20 ට පමණක් ලියූ වීසති වණ්ණනා නම් ටීකාවක් වෙයි. චෝලිය කාශ්යප මහ තෙරුන් විසින් විමති විනෝදනී විනය ටීකාව ලියන ලදී. භදන්තාචරිය ධම්මපාල මහ තෙරුන් විසින් විසුද්ධි මග්ග ටීකාව ලියා ඇත. භදන්තාචරිය ධම්මපාල මහ තෙරුන් විසින් ලීනත්ථ මඤ්ජුසා දීඝනිකාය ටීකාව ලියන ලද්දේය.
මේ අන්දමට කුශාග්ර බුද්ධිමත්, ප්රඥා පාටවයෙන් යුත් මහා ස්ථවිරයන් වහන්සේලා විසින් ලියන ලද ටීකා ග්රන්ථ වසර 900 ක් පමණ කාලයක් අපේ පැරණි විහාර පොත් ගුල් ආදියේ තැන්පත් කර ආරක්ෂා කරගෙන පැවතියේය. කාලයක් තිස්සේ මෙම ටීකා පරිහරණයෙන් ඈත් වී පැවතිණ.
බුදු දහම පරපුරෙන් පරපුරට ගෙනයාම අපේ කාලයේ දී සිදු විය යුතු වගකීමක් හැටියට සලකන බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය ව්යවහාරයෙන් පරිහරණයෙන් කලක් ඈත් වී පවත්නා මෙම ටීකා සිංහලට පරිවර්තනය කර මුද්රණය කිරීමට අදිටන් කළේය. අපගේ මූලික පරමාර්ථය හා ක්රියා මාර්ගය වී පවතින්නේ පිරිසිදු ථේරවාදී ධර්ම මධ්යස්ථානය ශ්රී ලංකාවේ අංග සම්පූර්ණව පිහිටු වීමයි. ඒ සඳහා අපි බුද්ධ ජයන්ති ත්රිපිටකය පුනර් මුද්රණයෙන් පළ කළෙමු. දෙවනුව සූත්ර පිටකය සරල සිංහලට අනුවාදනය කොට පළ කළෙමු. තෙවනුව අට්ඨකථා (අටුවා) හතලිස් නවයක් සිංහලට පරිවර්තනය කර මුද්රණය කර ජනතාවට පිරිනැමීමු. දැන් අපි පාලි අට්ඨකථා සියල්ල ඉංග්රීසියට පරිවර්තනය කොට මුද්රණය කොට ලෝක බෞද්ධ ජනතාවට පිරිනැමීමේ කාර්යයට පියවර තබා ඇත්තෙමු. ටීකා ග්රන්ථ සියල්ල සිංහලට පරිවර්තනය කර පර්යාප්ති ශාසනය අඩු පාඩු රහිතව ස්ථාවර කිරීමට පියවර තබා ඇත. අට්ඨකථා පාලි පෙළ හා ටීකා පාලි පෙළ වියතුන් ලවා අධීක්ෂණය කොට මුද්රණය කරවීමට ද පියවර ගෙන ඇත. මේ සියල්ල අපෙන් සිදු වනුයේ ථේරවාදී ත්රිපිටක ධර්මය ශ්රී ලංකාවේ ස්ථාවරව පිහිටු වීමේ නිරාමිස ප්රීතිය සඳහාමය.
බොහෝ විට ත්රිපිටක ධර්මය වියතුන් යැයි සිතා ගත් පණ්ඩිතමානීහු තම තමන්ට රුචි පරිද්දෙන් විස්තර කරති. එයට හේතුව ඒවායේ මූලික හරය වටහා නොගැනීමයි. එය අවබෝධ කළ හැක්කේ අටුවා ටීකා මගිනුයි. අටුවාවල අනවබෝධ වචන ටීකා වලින් පැහැදිලි කෙරේ. ඒ මගින් වැරදි අර්ථ කථන දුරු කළ හැකි වේ. ටීකා සිංහලට පරිවර්තනය කිරීම බුද්ධ ශාසනය වශයෙන් අගය නිම කළ නොහැකි සේවාවකි. බුදු දහම පිළිබඳව ශ්රද්ධාව පැහැදීම වැඩි දියුණු වන්නේ බුදු දහමේ හරය අවබෝධ කර ගැනීමෙනි. බුද්ධ වචන විකෘති කර දක්වමින් ආගමේ නාමයෙන් ව්යාපාර පවත්වා ගෙන යාම ද, නවත්වාලිය හැක්කේ අටුවා ටීකා පරිවර්තනය තුළිනි. එය ද මහත් ශාසනෝපකාරයකි.
මෙම ටීකා මුද්රණයේ දී පුණ්යානුමෝදනා කළ යුතු කීප පලක් ඇත. දුර්ලභ ටීකා පොත් සොයා ගැනීමේ දී එම පොත් අපට ලබා දීමට උපස්ථම්භක වූ දොඩන්දූවේ පොල්ගස් දූවේ ආරණ්ය සේනාසනයේ සියළු ස්වාමීන් වහන්සේලාට ද පුස්කොළ ටීකා පොත් හා මුද්රිත ටීකා පොත් ද සපයා දුන් පානදුර වලපොළ සද්ධර්මෝදය පිරිවෙනේ අධිකාරී අරියසිරි ස්වාමීන් වහන්සේට ද පූජ්ය හංවැල්ලේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේට ද අපගේ පුණ්යානුමෝදනා ස්තූතිය පිරිනමමි.
පාලි අට්ඨකථා මුද්රණය මෙන්ම, ටීකා මුද්රණය ද සිදු කරනුයේ ආගමික හා සදාචාර වර්ධන අමාත්යංශය මගින්, බුද්ධ ශාසන භාරකාර අරමුදලේ ප්රතිපාදන තුළින් ලබා දෙන ණය පහසුකම් තුළිනි. එම සත්කාරය කිරීමෙන් මෙම ව්යාපෘතියට අනුග්රහය දැක්වීම උදෙසා ශ්රී ලංකා සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති තුමාට ද, පාලක මණ්ඩලයේ සභාපති ගරු අගමැති තුමන් ඇතුළු සියලු සාමාජිකයනට ද, ආගමික කටයුතු ඇමති තුමන්ට ද, ආගමික හා සදාචාර වර්ධන අමාත්යාංශයේ ලේකම්තුමාට හා අරමුදලේ ලේකම්තුමන් ප්රධාන කාර්ය මණ්ඩලයට ද අපගේ පුණ්යානුමෝදනා ස්තූතිය පිරිනැමෙන්නේය.
ටීකා පරිවර්තනය සඳහා සහ අධීක්ෂණය සඳහා කැප වන සියලුම ස්වාමීන් වහන්සේලාට හා මහත්වරුන්ට ද මෙම උතුම් පින්කමේ පින් අනුමෝදන් කරමි.
ටීකා පරිවර්තනය කර මුද්රණය කරවීම සඳහා ද ඇප කැප වන, බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයේ සියලු සේවක මහත්ම, මහත්මීන්ට ද, පරිගණක, මුද්රණ ආදී කටයුතු මෙහෙය වන සියලු දෙනාට ද අපගේ ස්තූතිය හිමි වේ.
මෙසේ මෙම පුණ්ය කර්මයට අත හිත දීමෙන් සම්මාදම් වන සකල සාධූන්ටම මෙම මහා කුශල කර්මයේ පින් පුරවමින් දිගාසිරි පතම්හ.
කිරම විමලජෝති ස්ථවිර.
අධ්යක්ෂ - බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය.
සංඥාපනය
පොළොන්නරු යුගයේ වැඩ සිටි ටීකාචාර්ය භදන්ත සාරිපුත්ත මාහිමියන්ගේ ශිෂ්ය සුමංගල නම් යතිවරයන් වහන්සේ නමක් විසින් ලියන ලද අභිධම්මත්ථ විභාවිනී ටීකාව සඳහා රාජකීය පණ්ඩිත නිතලව ශ්රී ඤාණේශ්වර නායක ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් රචිත සිංහල සන්නය හඳුන්වා ඇත්තේ විශුද්ධාරත්ථ ප්රදීපිකා නම් අභිධර්මාර්ථ විභාවිනී ටීකා සන්නය යන නමිනි. 1948 වර්ෂයේ මෙම ග්රන්ථය රචනා කර ඇත.
නිතලව පණ්ඩිත ඤාණේශ්වර නායක ස්වාමීන්ද්රයන් වහන්සේ විසින්, ශ්රද්ධාවාක්යෝපදේශය හෙවත් ව්යාකරණ රත්නාකරය බාලසුබෝධිනී නම් පාලි වරනැගිල්ල පාලි භාෂාවේ පද සාධන විධි ශ්රී සද්ධර්මෝපදේශය සමථ විදර්ශනා භාවනා සප්ත විශුද්ධි නිර්දේශය ශ්රී සරණංකර චරිතය ආදී වැදගත් ග්රන්ථ රැසක් සම්පාදනය කර තිබුණි. එහෙත් 1959 මැයි 31 දින උන්වහන්සේ අපවත් වන විට මේ ග්රන්ථ වලින් මුද්රණය වී තිබුණේ ග්රන්ථ කිහිපයක් පමණි. අනෙක් ග්රන්ථවල අත් පිටපත් බොහෝ දුරට විනාශ වී යාමට ආසන්නව තිබූ අවස්ථාවක උන්වහන්සේගේ අපවත් වීමෙන් පනස් වර්ෂයක් සම්පූර්ණ වූ 2009 මැයි 31 දින වනවිට විශ්ව කීර්තිධර ග්රන්ථ ප්රකාශකයකු වන දේශබන්ධු සිරිසුමන ගොඩගේ මැතිතුමාගේ ජාතික මෙහෙවර වැඩසටහන යටතේ අමුද්රිත සියලුම ග්රන්ථත්, මුලින් මුද්රිත ග්රන්ථ පැරණි ග්රන්ථ මුද්රණ ව්යාපෘතිය යටතේත්, විශ්රාමික අධ්යාපන නිලධාරී ටිකිරි බණ්ඩාර සිලෝගම මැතිතුමාගේත් අනුග්රහය ලබාගෙන පාඨක ජනතාවට නිකුත් කිරීමට අපට අවස්ථාව සැලසිණ. ඒ පිළිබඳ සිරිසුමන ගොඩගේ මැතිතුමාට හා ටී. බී. සිලෝගම මැතිතුමාටත් සියලුම පාඨකයන්ගේ කෘතඥතාව හිමි විය යුතුයි.
අභිධම්මත්ථ විභාවිනී ටීකා සන්නය ද 2007 දී එසේ මුද්රණයෙන් ප්රකාශයට පත් විය. ඒ අතර බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය මගින් සියලුම ටීකා ග්රන්ථ සන්න සහිතව මුද්රණය කිරීමට කටයුතු කරගෙන යන බව අට්ඨකථා හා ටීකා අංශය භාරව කටයුතු කරන විජිත නන්ද සරත්වන්දු මැතිතුමාගෙන් දැන ගන්නට ලැබිණි. ඒ අනුව නිතලව නාහිමියන් විසින් රචිත අභිධම්මත්ථ විභාවිනී ටීකා සන්නය ද එම ටීකා මුද්රණ ව්යාපෘතිය යටතේ ද ප්රකාශයට පත් කිරීම පිළිබඳව සිරිසුමන ගොඩගේ මැතිතුමාගේ අනුමැතිය ද ලැබුණ හෙයින් බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය වෙත භාර දුනිමි.
බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය මගින් පූජ්ය ආචාර්ය කිරම විමලජෝති නාහිමියන්ගේ අනුශාසකත්වය යටතේ සියලුම අටුවා සිංහලට පරිවර්තනය කර මේ වනවිට මුද්රණයෙන් ප්රකාශයට පත් කර ඇත. පාලි භාෂාව නොදත් බොහෝ දෙනෙකුට අටුවාවන්හි එන කරුණු තේරුම් ගැනීමට එය මහත් පහසුවක් විය.
අටුවා සොයාගෙන සන්න ලිවීම තරම් ටීකා සපයා ගැනීම පහසු නොවේ. එහෙත් එම දුර්ලභ පොත් සපයාගෙන ටීකා ග්රන්ථ සඳහා සන්නය ලියා සකස් කිරීමට බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය දරන ප්රයත්නය පිළිබඳව සියලු දෙනාගේ ප්රශංසාව නිතැතින් පූජ්ය කිරම විමලජෝති නාහිමියන් ප්රධාන එම කාර්ය මණ්ඩලයට හිමිවිය යුතුයි.
අපගේ ප්රාචාර්ය මීරිගම, මිණිඔලුව, විද්යාවාස පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සඤ්ඤාලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත නිතලව ශ්රී ඤාණේශ්වර නායක ස්වාමීන් වහන්සේ විසින් රචිත අභිධර්මාර්ථ විභාවිනී ටීකා සන්නය ද එම ටීකා ව්යාපෘතිය යටතේ මුද්රණය කිරීම පිළිබඳව මහත් උනන්දුවෙන් ක්රියා කළ විජිත නන්ද සරත්වන්දු මහතා ප්රධාන ටීකා සම්පාදක මණ්ඩලයට ද අපගේ කෘතඥතා පූර්වක පුණ්යානුමෝදනය නිතැතින් හිමිවේ. දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය සිදු කරන බෞද්ධ පොත්-පත් සුලබ කිරීමේ උදාර පරමාර්ථය දිනෙන් දිනම දියුණු වේවායි ප්රාර්ථනා කරමි.
ත්රිපිටක විශාරද, ශාස්ත්රපති,
පූජ්ය මකුලෑවේ විමල මහා ස්ථවිර
මීරිගම, මිණිඔලුව, ශ්රී විද්යාවාස මහ පිරිවෙන්
විහාරාධිපති, ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
සඤ්ඤාලේඛකාධිකාරී