ශ්රී පාද වන්දනා සාහිත්යය - කරුණාදාස රූපසිංහ 2013.pdf
- කතෘ :
- කරුණාදාස රූපසිංහ
- ප්රකාශිත වර්ෂය :
- 2013
- මුද්රිත වර්ෂය :
- 2013
- පිටු ගණන :
- 208
- බාගත කිරීම් ගණන :
- 194
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-07-03
- ගොනුවේ ප්රමාණය :
- 8.8 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ශ්රී පාද වන්දනා සාහිත්යය යනු කරුණාදාස රූපසිංහ මහතා විසින් ශ්රී පාදස්ථානය සහ ඒ ආශ්රිත ව බිහි වූ වන්දනා සාහිත්යය පිළිබඳ ව කරන ලද ශාස්ත්රීය පර්යේෂණාත්මක ග්රන්ථයකි. කතුවරයා සිය විශ්වවිද්යාල උපාධි නිබන්ධනය පදනම් කරගනිමින් මෙය සම්පාදනය කොට ඇත.
මෙහි ශ්රී පාදස්ථානයේ ඉතිහාසය, පිහිටීම, ඓතිහාසික වාර්තා, ජනප්රවාද, සිරිපා වන්දනාවේ භාවිත වන ජනවහර, සුමන සමන් දෙවියන් පිළිබඳ තොරතුරු මෙන්ම ශ්රී පාද වන්දනාව ඇසුරින් විවිධ යුගවල (1900ට පෙර, 1900-1950, 1950න් පසු) රචිත සාහිත්ය කෘති, වන්දනා කවි හා පුස්තිකා පිළිබඳ විස්තරාත්මක අධ්යයනයක් ඇතුළත් වේ.
ප්රධාන මාතෘකා:
- ශ්රී පාද ස්ථානය හා ඓතිහාසික වාර්තා
- ශ්රී පාදය හා ජනප්රවාද
- ශ්රී පාද වන්දනාවේ ජනවහර
- සුමන සමන් දෙවියෝ
- ශ්රී පාද වන්දනාව ඇසුරින් බිහි වූ සාහිත්ය ග්රන්ථ
මෙම කෘතිය 2013 වර්ෂයේ දී ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ සමාගම මඟින් ප්රකාශයට පත් කර ඇත.
පිදුම
සිය සුතනඹුවන් මතු නො ව, ජීවිතය කෙරෙහි ද පැවැති සෙනෙහස පරයා වැඩි සිටි සැදැහැයෙන්, ඉඩකඩම්, හරකාබාන, ගෙවල් දොරවල් ඥාතිනට පවරා දී, සමනොළ ගිරි හිස තෙක් වූ ගිරි දුර්ග, වන දුර්ග ඔස්සේ වැටී තිබුණු පටු මං දිගේ දින ගණන් ගමන් කරමින්, කුසට නිසි අහරක් නො ලබා සැහැල්ලුවේ රැගෙන ආ වියලි අහර පමණ බුදිමින්, ගව් ගණන් දුර ගෙවා, නන් දෙසින් සමනොළ ගිර තරණය කර, සිරිපා තඹර නමකර, එහි අසිරිමත් බව පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ සැදැහැඹර උවසු උවැසියනට හා,
කිරිකෝඩු, දඬුකෝඩු ඈ දුහුනනට මග පෙන්වමින්, සිය දිවිය දෙවැනි කොට, උවසු උවැසියන් නිරතුරු සිරිපා කරුණා කරවමින්, යුගයෙන් යුගය සිරිපා නැමදුම තහවුරු කළ නඩේ ගුරුන් වෙත, මේ ගත හරසරින් පිදේ.
පෙරවදන්
සමනොළ කඳු මත පිහිටි ශ්රී පාද ලාංඡනය කාලාන්තරයක් තිස්සේ බෞද්ධා’බෞද්ධ කා අතරත් සම්භාවනාවට පත් ව පවතින්නකි. ජීවිත කාලය තුළ එක් වතාවක් හෝ සමනොළ පිහිටි ශ්රී පාද ස්ථානය කරා ගොස් වැඳ පුදා නොගත් ශ්රී ලාංකික බෞද්ධයෙකු නොමැති තරම් ය. ආගමික බැතිමත්හු වන්දනාමානාදියටත්, දෙස් විදෙස් සංචාරකයෝ විනෝදාස්වාදය ලැබීමටත් මේ රමණීය කඳු පියස තරණය කරති. ඒ සා මහත් ජනතාවකගේ සම්භාවනාවට ලක් වූ ඓතිහාසික ස්ථානයක් වටා පොත් පත් රැසක් ලියැ වී ඇති බව පෙනෙතත්, ඒවායින් වැඩි කොටස අද අප්රකට ව ඇත. වර්ණනාත්මක ස්වරූපයෙන් ලියැවුණු මෙම කෘති පුස්තිකා ගණයට ඇතුළත් කළ හැකි කුඩා ප්රමාණයේ ඒවා ය. එ බැවින් ම භාවිතයෙන් ඉවත් ව ඇති අතර, කෞතුකාගාර පුස්තකාල වැනි තැනෙක පමණක් පිටපතක් දෙකක් සොයා ගත හැකි අන්දමට අභාවිත තත්ත්වයට පත් ව ඇත.
ශ්රී පාද වන්දනාවේ ගමන් ගන්නා අවස්ථාවල දී කවියක්, සීපදයක් ගායනා කරමින් ගමන් කිරීම පෙර පටන් පැවති චාරිත්රයකි. එක් අයෙකු එක් පදයක් ගායනා කළ කල්හි වන්දනා නඩයේ ගමන් ගත් සෙස්සෝ එය ම පුනරුච්චාරණය කරමින් ගයනා කරති. අත්වැල් ඇල්ලීම හෙවත් අත්වැල් ගායනය නමින් ද එය හඳුන්වනු ලැබේ. එම කාර්යයට සම්බන්ධ දෙපිරිස ම ඊට සම්බන්ධ වන්නේ ශ්රද්ධාව පෙරදැරි කරගෙන ය. මේ සඳහා ම ලියැවුණු කවි පොත් 19 සියවසේ සහ 20 මුල් භාගයේ දී බහුල වශයෙන් දක්නට ලැබිණි. පුස්තිකා ගණයට අයත් ඉහත කී කුඩා කෘති අභාවයට යාම ඇරඹුණේ, ගමනාගමන පහසුකම් වැඩි දියුණු වීම හා ගුවන් විදුලි යන්ත්ර, ජංගම දුරකථන වැනි සන්නිවේදන උපකරණ භාවිතය නිසා වන්දනා කවි ගායනා කිරීමේ සම්ප්රදාය කෙමෙන් පරිහානියට පත් වූ බැවිනැ යි සැලකිය හැකි ය. එබැවින් තවමත් ආරක්ෂා වී තිබෙන එ වැනි කෘතිවල පිටපත් සොයා පාඨක ජනයාට හඳුන්වා දීම සුදුසු බව අපට හැඟිණ. ඒ අතර ම ශ්රී පාදය පිළිබඳ සියලු ම කරුණු එක් රැස් කර පළ කරන ලද වෙනත් කෘතියක් මෙම පර්යේෂණය සිදු කරන ලද අවධියේ නො පැවති හෙයින්, ශ්රී පාදය පිළිබඳ අධ්යයනය කරන්නෙකුට ප්රයෝජනවත් විය හැකි වෙනත් කරුණු ද මීට එක් කිරීමට අදහස් කෙරිණි ඒ නිසා ශ්රී පාද සාහිත්යයට සම්බන්ධ කෘතිවලට අමතර ව, ශ්රී පාද ස්ථානය සම්බන්ධ වෙනත් කරුණු ද ඇතුළත් කරමින් මේ ගත සම්පාදනය කෙරිණ.
ප්රධාන පරිච්ඡේද අටක් යටතේ අනුමාතෘකා 18කින් සමන්විත මෙම ශ්රී පාද වන්දනා සාහිත්යය කෘතියේ පළමු වන පරිච්ඡේදයෙන් මෙම කෘතියට පාදක වූ ශ්රී පාද ස්ථානය හා සම්බන්ධ පසුබිම් විස්තරයක් ඉදිරිපත් කෙරේ. දෙවන පරිච්ඡේදය මගින් ශ්රී පාදය, එය පිහිටුවා ඇති සමනොළ ගිර ආදි කරුණු පිළිබඳ දීර්ඝ විවරණයක් සැපයේ. තෙවන පරිච්ඡේදය මගින් ශ්රී පාද ස්ථානය හා සම්බන්ධ ඓතිහාසික වාර්තා ඉදිරිපත් කෙරේ. සිව් වන පරිච්ඡේදය, ශ්රී පාද වන්දනාව හා බැඳුණු ජන ප්රවාද පිළිබඳ සාකච්ඡා කිරීමට වෙන් කර ඇත. ශ්රී පාද වන්දනාව ඇසුරු කර ගත් අමුතු බස් වහරක් ද පවතින බව ශ්රී පාද ජනවහර නම් වූ පස් වන පරිච්ඡේදය අනාවරණය කරයි. හය වන පරිච්ඡේදය මගින් සිදු කෙරෙනුයේ ශ්රී පාද ස්ථානයට අධිගෘහිත දෙවියන් සේ සැලකෙන සමන් දෙවියන් යනු කවරෙකු දැ යි විස්තර කිරීම යි. එතැන් සිට එන සත් වන පරිච්ඡේදය මෙහි ප්රධාන තේමාව වූ ශ්රී පාද වන්දනාව ආශ්රිත ව ගොඩ නැගුණු සාහිත්ය කෘති පිළිබඳ දීර්ඝ විස්තරයක් සපයයි. මේවා කාල නිර්ණයාත්මක කොටස් තුනක් යටතේ වර්ග කර ඇත. 1900ට පෙර, 1900 - 1950, 1950න් පසු රචිත වශයෙනි. සමස්තයක් වශයෙන් ගත් කල, මේ රට තුළ පැවති විශ්වාස, සිරිත් විරිත්, සාහිත්යය යනාදි සංස්කෘතිකාංග අතරට ශ්රී පාදය හා සම්බන්ධ වූ සංස්කෘතිකාංග ද පැවති බව මතු පරපුරට දැන ගැනීමට හැකි වන පරිදි මෙම කෘතිය සම්පාදනය කර ඇත. ශ්රී පාදය හා සම්බන්ධ ජනප්රවාද පිළිබඳ විමසා බැලීමක් කෙරෙන සිව් වන පරිච්ඡේදයට ඇතුළත් නොවූ ජනප්රවාද, පස් වන පරිච්ඡේදයට තව දුරටත් ඇතුළත් විය යුතු වදන් (ජනවහර) මෙන් ම සත් වන පරිච්ඡේදයේ දී සාකච්ඡා කරන ලද ග්රන්ථවලට අමතර ව තව දුරටත් ඇතුළත් විය යුතු ග්රන්ථ පිළිබඳ ව පාඨක ඔබ දන්නා තොරතුරු වේ නම්, (මීළඟ සංස්කරණයක දී එම තොරතුරු ද මෙම කෘතියට ඇතුළත් කිරීම සඳහා) අප වෙත දැනුම් දෙන ලෙස ද කාරුණික ව ඉල්ලා සිටිමු.
මෙම ග්රන්ථය සම්පාදනය කිරීමෙහිලා අපට උපකාරී වූ බොහෝ දෙනෙක් වෙති. එවක මා විශ්ව විද්යාල ශිෂ්යයෙකු වශයෙන් සිටිය දී අවසන් වසරට නියමිත නිබන්ධය වශයෙන් ශ්රී පාද වන්දනාව සම්බන්ධ කරුණු විග්රහ කිරීමට අනුමැතිය පළ නො වූයේ නම් මෙවැනි කෘතියක් පළ නොවීමට ද ඉඩ තිබිණ. ඒ සඳහා අනුග්රහය පළ වූයේ එවකට ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ සිංහල අධ්යයනාංශ ප්රධාන මහාචාර්ය ඒ. වී. සුරවීර මහතාගෙනි. එවක එම විශ්ව විද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ව සිටි රත්න විජේතුංග මහතාගෙන් ද අවශ්ය උපදෙස් සැපයිණි. මෙම නිබන්ධය සැපයීමේ දී අපට උපදෙස් හා මග පෙන්වීම් කිරීමේ කාර්යය පැවරී තිබුණේ මහාචාර්ය ගාල්ලේ ධම්මපාල නාහිමිපාණන්ට ය. ආධුනික ලේඛකයෙකුගෙන් වන වැරදි ගැන මහත් ඉවසීමෙන් යුතු උපේක්ෂා ගුණය පෙරදැරි ව පරිච්ඡේදයක් පාසා සාවධානව කියවමින් අඩු ලුහුඬුකම් පෙන්වා දෙමින් මේ ගත මෙසේ සකස් කරවීමේ ප්රධාන නියමුවාණන් වූයේ අප මහඇදුරුපාණන් වහන්සේ ය. එමෙන් ම මෙම ක්ෂේත්රය පිළිබඳ ව ප්රමාණාත්මක ව කෙරුණු අධ්යයනයක් නොමැති හෙයින් මෙම කෘතිය මුද්රණය කරවන ලෙසට අප පොලඹවාලූයේ ද උන්වහන්සේ ය. ඉහත කී පරිදි මෙම කෘතිය ශාස්ත්රීය පදනමක් මත පිහිටා සිදු කිරීමේ විද්වත් කාර්යයේ දී අපට සහාය වූ අපගේ ආචාර්ය භවතුන්ට පළමු කොට ස්තුතිය පිරිනමමි.
එමෙන් ම මේ සඳහා කරුණු එක් රැස් කිරීමේ දී අපට සහාය වූ කීප දෙනෙකු ගැන ද විශේෂයෙන් සිහිපත් කළ මනා ය. රත්නපුර මහවල ශ්රී ධර්මායතනාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත, ශාස්ත්රපති, කැලීගම විජිතනන්ද නා හිමිපාණන් රසවාහිනී සඟරාවකට සපයන ලද ලිපියක් මගින් ශ්රී පාදය පිළිබඳ සාහිත්යයක් පවත්නා බවට හෙළි කරන ලද තොරතුරු එකී විෂය පථය පුළුල් ලෙස අධ්යයනය කිරීමට අප පොලඹවාලීය. එ මතුදු නොව, උන්වහන්සේ ශ්රී පාද වන්දනාව හා සම්බන්ධ පුස්තිකා ගණයට අයත් පොත්පත් කීපයක් හඳුනා ගෙන තිබූ අතර, ශාස්ත්ර ලෝභයකින් තොර ව ම එම තොරතුරු අප වෙත සැපයූහ. මේ ග්රන්ථයට තොරතුරු එක් රැස් කිරීම සඳහා අප කටයුතු කරන අතර රත්නපුර මූලස්ථාන උපදිසාපති ව සිටි ගත් කතුවර, ශාස්ත්රපති බන්දුල ලියනගේ මහතාගෙන් ද නො මඳ සහායක් ලැබිණි. රත්නපුර දිස්ත්රික්කයේ උගතුන් එක් රැස්කර විවිධ ශාස්ත්රීය කාර්යයන්හි නිරත වූ එතුමා රත්නපුර දිස්ත්රික් සංස්කෘතික ප්රකාශන නමින් ලිපි සංග්රහයක් ද පළ කිරීමට සැලසුම් කර තිබූ අතර එහි අත්පිටපත ද මා වෙත ලබාදෙන ලදී. ඒ අතර වූ ශ්රී පාදස්ථානය සම්බන්ධ ලිපි ද අවශ්ය තොරතුරු ලබා ගැනීමෙහිලා මහත් සේ උපකාරී විය. ඉහත කරුණු සඳහා වූ අපගේ නොමඳ තුතිය පිරිනමමි.
මේ කෘතිය සම්පාදනය කිරීම සඳහා ශ්රී පාදස්ථානය කරා දෙවරක් පමණ ගමන් කිරීමට සිදු විය. එහි දී අවශ්ය සියලු පහසුකම් සපයා දීමෙන් ද ශ්රී පාදය සම්බන්ධ බොහෝ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ද අපට සහය වූ ශ්රී පාදස්ථානයේ කෘත්යාධිකාරී, දාපනේ ශ්රී ජයසුමනාරාමාධිපති, කෝප්පකන්දේ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ ද විශේෂයෙන් සිහිපත් කළ මනා ය. එවකට ශ්රී පාදස්ථානයේ සමන් දේවාලයේ ප්රධාන කපු මහතා වශයෙන් සේවය කළ රාමගිරි කපුරාළලාගේ ලොකු මහත්මයා මහතා ද ශ්රී පාදස්ථානය පිළිබඳ ජනප්රවාද ආදිය ඉදිරිපත් කිරීමෙන් අපට සහාය විය. මෙම කාර්යය සඳහා අප ධෛර්යයවත් කළ, මඩුවන්වෙල මුදලින්දාරාමාධිපති, සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ සබරගමු පළාතේ හා ශ්රී පාදස්ථානයේ අනුනායක වශයෙන් වැඩ සිට අපවත් වී වදාළ කැලේලේ ශ්රී සාරානන්ද නාහිමිපාණන් වහන්සේ ද පුන්යානුමෝදනා පූර්වක ව මෙහි දී සිහිපත් කළ මනා ය.
ඇතැම් පොත්පත් සපයා දීම, තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයීය පුස්තකාලය, කොළඹ කෞතුකාගාර පුස්තකාලය ආදි පුස්තකාලයන්හි එවක කාර්යය මණ්ඩලය වශයෙන් සේවය කළ මහත්ම මහත්මීන්ට ද, අවශ්ය පොත් සපයා දුන් ඕමල්පේ සිරි සීලානන්ද හිමි, ශාස්ත්රපති මඩුවන්වෙල සුගතනන්ද හිමි, මුද්දුවේ සිරි සුමන පිරිවෙනේ (දැනට රුහුණු විශ්වවිද්යාලයේ මහාචාර්ය) කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි යන හිමිවරුන්ට ද හාපිටිගම් ජාතික අධ්යාපන විද්යාපීඨයේ එරන්ද පුෂ්පකුමාර ගුරු ශිෂ්ය මහතාට ද අපගේ කෘතඥතාව හිමිවිය යුතුය.
පාතකඩ භික්ෂු පුහුණු මධ්යස්ථානයේ පූජ්ය බුළුගහපිටියේ සුමංගල හිමිපාණන් සිය ගුරු දේවයන් වූ රාජකීය පණ්ඩිත, හේන්පිටගෙදර ඤාණසීහ නාහිමිපාණන් වහන්සේ විසින් සංස්කෘත භාෂාවෙන් රචිත කෘතියක අත්පිටපත සපයා දීම හා මෙම විෂය හා සබැඳි පොත්පත් සපයා දීම වැනි විවිධ අංශවලින් අපට සහය වූහ. උන්වහන්සේ ද බැතියෙන් යුතු ව සිහිපත් කරමු.
මේ හැරුණු විට ශ්රී පාදස්ථානය කරා යන ගමන්වලදී අප සමග එක් ව ගමන් කිරීම, තොරතුරු සපයා දීම ආදි විවිධ අංශයන්ගෙන් අපට සහාය වූ මෙහි නම් සඳහන් නො වූ සියලු දෙනාට ද අපගේ කෘතඥතාව පළ වේ. යතුරු ලියන කර තිබූ මෙම කෘතිය සංස්කරණය කිරීමේ දී පරිගණකය භාවිත කරමින් නැවත මුද්රණය කළ යුතු වූ අතර අප එම කටයුත්ත කරන අතර දී සහාය වූ (ගම්පහ බණ්ඩාරනායක විද්යාලයේ ඉගෙනුම ලබන,) චතුර මධුමාධව රූපසිංහ නම් වූ අපගේ පොඩි පුතුට ද ස්තූතිය පිරිනැමේ. නන් අයුරින් සහාය වූ මගේ ආදරණීය බිරිඳ වන පාඨශාලාචාරිණී එච්.එම්. විමලාවතී මහත්මියට හා (කොළඹ ආනන්ද විද්යාලයේ ඉගෙනුම ලබන) රුචිත රූපසිංහ පුතුට ද ස්තූතිය හිමි වේ.
ආකර්ෂණීය පිට කවරයක් සහිත ව පොත මුද්රණය කරවා ප්රකාශයට පත් කළ සිරිසුමන ගොඩගේ මහතා ප්රධාන ගොඩගේ සහෝදරයෝ සමාගමටත් අපගේ ස්තූතිය පිරිනැමේ
කරුණාදාස රූපසිංහ
හාපිටිගම් ජාතික අධ්යාපන, විද්යා පීඨය, මීරිගම.
8 පටු මග, නඳුන් උයන, හල්පෙ, මීරිගම.
2013.02.20