තෙරුවන - තාඹුගල ආනන්ද අනගාරික හිමි 1956.pdf
- කතෘ :
- තාඹුගල ආනන්ද හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1956
- මුද්රිත වර්ෂය :
- 1956
- පිටු ගණන :
- 33
- බාගත කිරීම් ගණන :
- 188
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-02-03
- ගොනුවේ ප්රමාණය :
- 21 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
තෙරුවන යනු පූජ්ය තාඹුගල ආනන්ද අනගාරික හිමියන් විසින් බුද්ධ, ධම්ම, සංඝ යන ත්රිවිධ රත්නය සහ නියම සරණාගමනය පිළිබඳව ධර්මානුකූලව විග්රහ කරමින් සම්පාදනය කරන ලද ධර්ම ග්රන්ථයකි. බුද්ධ ජයන්ති වර්ෂය වූ බු.ව. 2499 (ක්රි.ව. 1956) දී ප්රථම වරට මුද්රණය කරවා ඇත.
පරවාහැර ශ්රී ලංකා විනය වර්ධන සමිතියේ සභාපති ඇම්. ජේ. සී. සේදර අප්පුහාමි මහතා විසින් සිය මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරවීම පිණිස සිය වියදමින් මුද්රණය කරවා සීමාසහිත ශ්රී ලංකා විනය වර්ධන එකාබද්ධ මහා සංගමයට පිරිනමා ඇති අතර, මරදානේ ඔරියන්ටල් යන්ත්රාලයේ මුද්රණය කරවා ඇත.
සරණ සහ රතන යන වචනවල නියම අර්ථයත්, චතුස්සත්ය අවබෝධය හා බුද්ධ, ප්රත්යේකබුද්ධ සහ ශ්රාවක යන ත්රිවිධ පුද්ගලයන් තුළ එම තත්ත්වයන් පහළවන අයුරුත්, වජ්ජිපුත්රක ආදී විකෘති අදහස් බැහැර කර පෙළ දහමට අනුව නියම තෙරුවන් සරණ යාම පැහැදිලි කිරීමත් මෙම කෘතියේ අරමුණයි.
ප්රස්ථාවනාව
චතුස්සත්යය පිළිබඳ දැනුමත්, ඒ දැනුම සහිතව උපදින සිතත් ඒ සිත්වල සමානබවත් යන ත්රිවිධ ස්වභාවයට සියළුම භය දුක් කෙලෙස් නසන අර්ථයෙන් සරණ යන නමත්, නිර්වාණ පාක්ෂික ධර්මයන්ගේ යෙදීමෙන් රති ජනනය කරන අර්ථයෙන් රතන යන නමත්, ව්යවහාරයි. නැවත ඒ චතුස්සත්යය දක්නා ප්රඥාවට බුද්ධයිද ඒ ප්රඥාව සහිතව උපදින චිත්තොත්පාදයන්ට ධර්මයයිද-ඒ චිත්තෝත්පාදයන්ගේ සමානබවට සංඝයයි ද කියනු ලැබේ. මෙහි මුලින් කී සරණ, රතන, යන නාම පසුව කී බුද්ධ, ධම්ම, සංඝ යන නම් හා යෙදීමෙන් බුද්ධංසරණ, බුද්ධ රතන-ධම්මංසරණ ධම්ම රතන-සංඝංසරණ සංඝරතන-යන වචන සෑදෙයි.
බුද්ධ වූයේත් ඒමය. සරණ වූයේත් ඒමය යන අර්ථයෙන් බුද්ධං සරණං ගච්ඡාමි- ධර්ම වූයේත් ඒමය සරණ වූයේත් ඒමය යන අර්ථයෙන් ධම්මං සරණං ගච්ඡාමි- සංඝ වූයේත් ඒමය සරණ වූයේත් ඒමය යන අර්ථයෙන් සංඝංසරණං ගච්ඡාමි- ව්යවහාර කරනවාමිස බුදුන්ගේ සරණ බුද්ධං සරණය. ධර්මයේ සරණ ධම්මං සරණය. සංඝයාගේ සරණ සංඝං සරණය යන විධියේ තේරුමක් යථෝක්ත වචනවල නොමැතියි.
මේ ත්රිවිධ ස්වභාවය උපදවන පුද්ගලයෝද ත්රිවිධ වෙති. යම් පුද්ගලයෙක් කාලාන්තර පරිභාවිත ප්රඥා ශක්තියෙන් අනන්යෝපදේශ රහිතවැ සවයම්භූඥානයෙන් මේ ත්රිවිධ තත්වය උපදවයිනම් ඒ උත්තමයා සම්යක් සම්බුද්ධ නම් වෙයි. යම් පුද්ගලයෙක් ස්වල්ප මාත්රවූ පරෝපදේශයක් ඇසුරින් මේ ත්රිවිධ තත්වය උපදවා අනුනට එය ඉපදවීමට උපදෙස් දිය නොහැකිවේනම් ඒ උත්තමයා ප්රත්යෙක බුද්ධ නම් වේ. යම් පුද්ගලයෙක් සම්යක් සම්බුද්ධවරයකුගේ උපදෙස් අනුවමැ මේ ත්රිවිධ තත්වය උපදවා අන්යයන්ටත් ඉපදවීමට උපදෙස් දෙයිනම් ඒ උත්තමයා අර්හන්ත බුද්ධ නම් වේ. මෙ ත්රිවිධ පුද්ගලයන් විසින්ම උපදවනුයේ යථෝක්ත එකම ත්රිවිධ තත්වයත්මැයි.
මේ තෙවැදෑරුම් පුද්ගලයන්ම ලෝවැඩ සලසන්නේ තම තමන් විසින් උපදවනු ලබන යථෝක්ත ත්රිවිධ තත්වයන් කරණ කොට ගෙනය. තථාගතයන් වහන්සේ විසින් “කතං මෙ සරණ මත්තනො” යන්නෙන් “මට සරණ මා විසින් කරගන්නාලදැ”යි වදාළේ “මම ගැලවුම් කාරයෙක් නොවෙමි, නුඹලා විසින්නුත් නුඹලාව සරණ ඇතිකරගත යුතුයැ” යන අදහස ප්රකට කරන පිණිසයි. ඒ නියම අදහස ක්රියාත්මකවූ කාලයෙහි අපමණ සත්ව ප්රජාවක් මෙ නිසරණ මාර්ගයෙන් සසර තරණය කළහ.
කල් යාමකදී ලාභ යසස් කාමි වජ්ජිපුත්ර මේ අත්යුත්තම විමුක්ත්යුපදේශය නිවන් මග ආවරණය කොට නිසරණය යොදා වාක්යයක් කොට උගන්වා රූකඩයක් කෙරෙහි සිත් යොදවා මහත්වූ ශාසන විප්ලවයක් කලහ. පෙල දහමට අනුව බුද්ධ අදහස තේරුම්ගත් අගතියට අවනත නොවූ සංසාර භීරුක සත්පුරුෂයන් එම විෂයවූ මේ නිසරණ විභාගය ආචීර්ණ කල්පික වජ්ජින්ට ගොදුරුවන්නට නොදී රැක්කේ නොවේ. ලක්දිව වජ්ජි ධර්මය පැතිරී බුද්ධ ශාසනය ප්රතිච්ඡන්නවී ගියාට පසු ප්රථමවරට නිසරණය පිළිබඳ නියම අදහස මහජනයා ඉදිරියෙහි තබා නිවන් මග විවෘත කරන ලද්දේ ශ්රී ලංකා විනය වර්ධන ධර්ම ව්යාපාරය විසිනි. එහෙත් එයට පටහැනිව නොයෙක් මොඝතර්ක ගෙනපාමින් ඝෝෂාකරන මාරපක්ෂිකයන්ගේ සංඛ්යාව අධිකවිය. නමුත් භාග්යයකට මෙන් විවෘතවූ මේ මෝක්ෂමග වසා ලීමට ඔවුනට පිළිවන් වේයයි නොසිතමු.
ගරු තාඹුගල ආනන්ද අනගාරික හිමියන් විසින් සම්පාදිත මේ “තෙරුවන” නමැති මාහැඟි ධර්ම පුස්තකය පරිශීලනය කිරීමෙන් නිසරණය පිළිබඳ මනා අවබෝධයක් ඇතිකරගතහැකි වෙයි. එපමණකුත් නොව දුර්මතීන්ගේ මොඝ තර්ක බිඳහෙලා ශාසන සේවයක් සිදුකිරීමටද මෙයින් ලැබෙන අනුග්රහය අති මහත්ය. මෙවැනි දහම් පොතක් පළනොවීමෙන් තුබුන පාඩුවද මෙයින් සම්පූර්ණ විය. එහෙයින් සම්බුද්ධ ශාසන මහා නගරවරයට පිවිසෙන ද්වාරය විවෘතකර ගැනීමට යතුරක් හා සමානවූ, මේ ධර්ම පුස්තකය සාදරයෙන් කියවා තේරුම් ගෙන නියම සරණාගමනයට පැමිණ නිවන් සිරි සාදා ගැනුමෙහි සත්පුරුෂ ලෝකයා උත්සුක වෙත්වා!
චිරං තිට්ඨතු ලොකස්මිං - සම්මා සම්බුද්ධ සාසනං තස්මිං සගාරවා නිච්චං - හොන්තු සබ්බෙපි පාණිනො
මේයට්, සපුන් වැඩ රිසි ඒ. සුමනරත්න, 2499 1956 4. 1. දින, පැල්මඩුල්ල.