අසිරිමත් දානය - නාවල ධම්මානන්ද හිමි.pdf

කතෘ :
නාවල ධම්මානන්ද හිමි
පිටු ගණන :
49
බාගත කිරීම් ගණන :
461
වෙබ් අඩවියට එක් කළ දිනය :
2025-07-03
ගොනුවේ ප්‍රමාණය :
10 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 25

අසිරිමත් දානය යනු පූජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද දානමය කුසලය පිළිබඳ ධර්ම විග්‍රහයකි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාවන් පාදක කරගනිමින්, බුද්ධ ශාසනයෙහි දානය පිළිබඳ විස්මිත අවබෝධය හා එහි මහානිසංස පැහැදිලි කිරීම මෙම කෘතියෙන් සිදු වේ.

මෙහි ප්‍රධාන වශයෙන් ඇතුළත් මාතෘකා:

  • අසිරිමත් දානය
  • දාන-ප්‍රභේද හා ප්‍රතිග්‍රාහකයෝ
  • දානයක් මහත්ඵල මහානිසංස වන අයුරු
  • දානානිසංස
  • දානය ගැන දැන ගත යුතු තවත් කරුණු රැසක්
  • දානයෙන් භාවනාවට
  • දානය සඳහා මුල් වන කුසල්-සිත්
  • දානය ‘පිනක්’ ද? ‘කුසලයක්’ ද?

මෙම කෘතිය පොල්ගස්ඕවිට දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජනීය මීතලාවේ විනීත ස්වාමීන් වහන්සේගේ පෙරවදනකින් සමන්විත වන අතර, ථේරවාද ශ්‍රී සද්ධර්ම සංසදය (ධර්මරාජගල රාජමහාවනසෙනසුන, ඇහැටුවැව) මඟින් 12 වන මුද්‍රණය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

පෙරවදන

මිනිසුන් තුළ පහළ වන ලෝභකම වනාහි අපිරිසිදු සිතිවිලිවලින් එකකි. එය මසුරුකමට මුල ය. මෙම මසුරුකම මිනිසාගේ දියුණුවට නොව පිරිහීමට මඟක් වෙයි. ඇතැම් අයගේ මෙබඳු වැරදි අදහසක් ඇත. එනම් ‘අරපරිස්සම, මසුරුකම ය’ යි, යන්න. එය එසේ නො සිතනු. ‘අරපරිස්සම’ ඉතා වටිනා ගුණයකි. හැම තැන දී ම හැම දෑයෙහි දී ම ප්‍රමාණයට වියදම් කිරීම නිසා මිනිසෙක් සාධාරණ ලෙස හරි මඟින් දියුණු වෙයි. අවස්ථානුකූල ව අවශ්‍ය දෙය සොයා බලා කම්පල අදහා ගෙන සොම්නස් සිතින් පරිත්‍යාග කිරීම ජීවිතයට විශාල පිහිටක් ඇති කර ගැනීමකි.

ත්‍යාගශීලීභාවය යහපත් ගුණයකි. යහපත් දෙයකට සිත නැමෙන්නේ සිත ගුණයෙන් උසස් වූ විට ය. දානය පුරුදු කරන්නට නම්, මසුරුමල අඩු ගතියක් සිතෙහි තිබිය යුතු ය. මිනිසුන් තුළ මේ ත්‍යාගශීලී උසස් සිත නිතර ම නො පවතී. මේ මොහොතෙ හි දන් දෙන තැනැත්තා ඊළඟ මොහොතෙ හි දී මසුරු වෙයි. මෙසේ සිදු වන්නේ පෘථග්ජන බව නිසා ය. සෝතාපන්න පුද්ගලයාට මෙය නැත. හේතුව, ශ්‍රද්ධාව වෙනස් වන්නේ නැති නිසා ය. එම නිසා ම ‘නියතෝ සම්බෝධිපරායණෝ’ යනුවෙන් සෝතාපන්න පුද්ගලයා පිළිබඳ ව වදාරා ඇත. දීම නිසා, තමාට ම තමාව ප්‍රිය වෙයි. අනුන්ටත් ප්‍රිය වෙයි. එය බොහෝ විට තමාගේ නිරාමිසප්‍රීතිය පිණිසත් හේතු වේ. පැලලුප් නුවර රාජ්‍යය කර වූ මහාසේන රජතුමා හා ඔහුගේ සහෝදරිය අප්‍රකට වෙසින් දුර පළාතකට ගොස් සිටුවරයෙකු ළඟ බැලමෙහෙකම් කළේ ස්වකීය ශරීරය වෙහෙසා උපයාගත් ධනයෙන් දන් දීම මහත් ආනිසංසදායක ය’යි අසා තිබුණු නිසා ය. තුන්-අවුරුද්දක් කුලීවැඩ කර ලබා ගත් ධනයෙන් දන් දී එයින් ලැබුණු ප්‍රීති-ප්‍රමෝදය මේ දෙදෙනාට ම එම ජීවිතයෙ හි දී ම සෝතාපන්න වීමට හේතු විය.

වර්තමානයෙහි බෞද්ධ වූ ද අන්‍යාගමික වූ ද බොහෝ දෙනා දන් දෙති. කෙබඳු ආගමක් අනුගමනය කළත් ලෝභ, ද්වේශ, මෝහ ආදි කෙලෙස්වලින් නො බැඳී, පරිත්‍යාග චේතනාව බලවත් කර ගෙන, ලබන්නා කෙරෙහි තරහක් නැති ව, ‘මතු විපාකයක් මෙම පිනෙන් ලැබේ; මෙයින් මාහට අනාගතයෙහි යහපතක් වන්නේ ය’ යන කර්මඵල විශ්වාසය ඇති ව, එම යහපත් දේ කළා නම්, එය පිනකි. මෙම ධර්මග්‍රන්ථය තුළින් එම කරුණු සූත්‍රදේශනාවන්ගෙන් මතුකර ගෙන උදාහරණ වශයෙන් පෙන්වා දී ඇත. මෙම ග්‍රන්ථය දනාදි පින් කරන අයට ඉදිරිමඟ දක්වන ආලෝකයක් බඳු ය’යි වැටහේ. මෙම ග්‍රන්ථය සම්පාදනය කළ පූජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ගත් උත්සාහය සඵල වේවා! එම ස්වාමීන් වහන්සේගේ පැවිදිජීවිතය සාර්ථක වේවා’ යි ආශංසනය කරමි.

මෙයට,
සසුන් ලැදි,

පූජනීය මීතලාවේ විනීත ස්ථවිර,
විපස්සනා භාවනා මධ්‍යස්ථානය,
දික්හේන,
පොල්ගස්ඕවිට.

හැඳින්වීම

තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ‘දානය’ පිළිබඳ ව වදාරා ඇති බුද්ධදේශනාවන් එක්තැන් කෙරෙමින් ‘අසිරිමත් දානය’ නම් වූ මෙම ධර්මග්‍රන්ථය සංග්‍රහ කරන ලදී. මෙම ග්‍රන්ථය සැකසීමට පාදක වූයේ මීට වර්ෂ කිහිපයකට පෙර ‘දානය’ මුල් කර ගෙන අප විසින් සිදු කළ ධර්මදේශනාවකි. බුදුසසුනෙහි ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් අතරින් පළමුවැන්න වූ දානය පිළිබඳ ව සූත්‍රපිටකයෙහි සඳහන් කරුණු විමසා බැලීමේ හි දී බුදුරජාණන් වහන්සේගේ විස්මිත අවබෝධය තුළින් වදාළ ‘බුදුසසුනේ-දානය’ කෙතරම් ආනිසංසදායක කුසලකර්මයක් ද යන්න වටහා ගත හැකි වෙයි.

දාන - ශීල - භාවනා ආදි කුසලධර්මයන් උසස් ලෙස සපුරා ගෙන නිවන්මඟ විවර කර ගන්නට බුද්ධෝත්පාද කාලය තරම් වෙනත් සුදුසු අන් කාලයක් නැත. එනිසා මෙහි සඳහන් ලෙස දානමය කුසල කර්මයන් මෙන් ම අවශේෂ කුසලකර්මයන් පිළිබඳ ව ද කරුණු මැනවින් උගෙන පින්කම්හි යෙදෙමින් නිවන්මඟ නො පමා ව සපුරා ගැනීමට සත්පුරුෂයෝ වෑයම් කරත්වා.

මෙම ධර්මග්‍රන්ථය මුල් වරට සකස් කරන ලද්දේ අස්ගිරිවල්පොළ, පියසේන තෙන්නකෝන් උපාසක මහතාගේ ආරාධනාවෙනි. දෙවනවර සිදු කළ සංස්කරණයට පසුබිම් වූයේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිවාසී පූජ්‍යපාද අධිකාරිගම සන්තසුමන ස්වාමීන් වහන්සේගේ ධර්මදානමය සංකල්පනාවකි.

මෙම ධර්මසංග්‍රහය සම්පාදනය කිරීමෙන් අප විසින් ජනිත කර ගත් ධර්මදානමය කුසලය අපගේ පරම පූජනීය උපාධ්‍යායන් වහන්සේ වූ අපවත් වී වදාළ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක ශ්‍රී ආර්යවිලාසවංසාලංකාර සද්ධර්මවාගීශ්වරාචාර්ය පටිපත්තිසෝභන ගණපාමොක්ඛාචරිය මහෝපාධ්‍යාය රාජකීයපණ්ඩිත අතිපූජනීය කඩවෑද්දුවේ ශ්‍රී ජිනවංසාභිධාන මාහිමිපාණන් වහන්සේට ද අපවත් වී වදාළ ප්‍රව්‍රජ්‍යාචාර්ය අතිගරු කිතුලම්පිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේට ද අතිගරු පූජනීය මාවතගම ගුණානන්දාභිධාන මාහිමිපාණන් වහන්සේට ද අත්පත් වී ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවන්සුව සැලසේවා !

අපගේ ආරාධනය පරිදි මෙම ග්‍රන්ථයෙහි අඩුපාඩු තැන් පිරික්සා සාරවත් පෙරවදනකින් ග්‍රන්ථය සැරසූ පොල්ගස්ඕවිට, දික්හේන, විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි අනුශාසක පූජනීය මීතලාවේ විනීත ස්වාමීන් වහන්සේට ද මෙම ධර්මදානමය කුසලබලයෙන් ආයුරාරෝග්‍ය ශ්‍රී සම්පත් වර්ධනය වේවා! ප්‍රාර්ථනීය බෝධියකින් නිවන්සුව අත්පත් වේවා!

විවිධාකාරයෙන් මාහට උපකාර කරන දිද්දෙණිය, රණගිරිය අරණ්‍යසේනාසනාධිවාසී පූජනීය නුවරඑළියේ ඤාණශීල ස්වාමීන් වහන්සේ ප්‍රධාන සෙසු ස්වාමීන් වහන්සේලාට ද මෙම ධර්මදානමය කුසලබලයෙන් ආයුරාරෝග්‍ය සම්පත් හා නිවන්සුව අත්පත් වේවා!

හැදූවැඩූ මවුපිය දෙදෙනාටත්, සිවුපසයෙන් උපස්ථාන කරන දායකකාරකාදි සැමටත්, ථේරවාද ශ්‍රී සද්ධර්ම සංසදය වෙනුවෙන් මුද්‍රණ කටයුතුවල නියැලුණු සැමටත් මෙම ධර්මදානමය කුසලකර්මයේ බලයෙන් ධර්මඥාන, භාවනාඥාන වර්ධනය කර ගෙන සුව සේ නිවන්සුව අත්විඳීමට ලැබේවා !

මෙම ධර්මදානමය කුසලකර්මය ඉන්ද්‍රෝපේන්ද්‍රාදි දිව්‍යරාජ, බ්‍රහ්මරාජ සමූහයාටත් සදේවකලෝකයාටත් නිර්වාණාවබෝධය පිණිස ම හේතු වේවා !

සාධු ! සාධු !! සාධු !!!

මෙයට,
සසුන් ලැදි,

පූජ්‍ය නාවල ධම්මානන්ද හිමි,
අනුශාසක,
මහාවිහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවකසභාව,
ධර්මරාජගල රාජමහාවනසෙනසුන,
කඳුරුවැව, ඇහැටුවැව,
කුරුණෑගල.