උපාලි මහරහතන් වහන්සේ සහ මහාවිහාරවංශය - නාවල ධම්මානන්ද හිමි, රවීන් කෝදාගොඞ 2024.pdf

කතෘ :
නාවල ධම්මානන්ද හිමි, රවීන් කෝදාගොඩ
ප්‍රකාශිත වර්ෂය :
2024
මුද්‍රිත වර්ෂය :
2024
පිටු ගණන :
133
බාගත කිරීම් ගණන :
460
වෙබ් අඩවියට එක් කළ දිනය :
2025-05-02
ගොනුවේ ප්‍රමාණය :
5.3 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 67

උපාලි මහරහතන් වහන්සේ සහ මහාවිහාරවංශය කෘතිය පූජ්‍ය නාවල ධම්මානන්ද හිමි සහ රවීන් කෝදාගොඩ මහතා විසින් සම්පාදිත පර්යේෂණාත්මක ග්‍රන්ථයකි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රමුඛ විනයධර ශ්‍රාවක වූ උපාලි මහරහතන් වහන්සේගේ අපදානය විස්තර කිරීමත්, උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් ඇරඹී මිහිඳු මහරහතන් වහන්සේ ඔස්සේ ලක්දිව පිහිටුවන ලද මහාවිහාර සම්ප්‍රදාය සහ අද්‍යතන ශ්‍රී ලාංකේය ථේරවාදී ත්‍රෛනිකායික භික්ෂු පරම්පරාවේ (ශ්‍යාම, අමරපුර, රාමඤ්ඤ) මහාවිහාරවංශික අඛණ්ඩ පැවැත්ම ඓතිහාසික හා ශාස්ත්‍රීය සාධක සහිතව විමර්ශනය කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ.

මෙම කෘතිය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. පළමු කොටසින් උපාලි මහරහතන් වහන්සේගේ චරිතාපදානය, විනය විනිශ්චයන් සහ ප්‍රථම ධර්ම සංගායනාවට ලබාදුන් දායකත්වය සාකච්ඡා කෙරේ. දෙවන කොටසින් අනුරාධපුර මහාවිහාරය, දිඹුලාගල ආරණ්‍යය, කෝට්ටේ යුගය, බුරුම හා සියම් දේශීය උපසම්පදා සබඳතා හරහා නූතන නිකායත්‍රය දක්වා දිවෙන ආචාර්ය-උපාධ්‍යාය පරම්පරාව හා ශාසන ඉතිහාසය විස්තරාත්මකව ඉදිරිපත් කරයි.

  • උපාලි මහරහතන් වහන්සේගේ චරිතය සහ විනයධර භූමිකාව
  • ජම්බුද්වීපය හා ශ්‍රී ලංකාද්වීපයේ ආචාර්ය පරම්පරාව
  • දිඹුලාගල මහාකාශ්‍යප මාහිමි හා මහාපරාක්‍රමබාහු රාජ්‍ය සමය
  • බුරුම සහ ලක්දිව අතර ඓතිහාසික උපසම්පදා හුවමාරු
  • ශ්‍රී ලංකා රාමඤ්ඤ, අමරපුර සහ සියම් නිකායන්හි ආචාර්ය ප්‍රවේණිය සහ මහාවිහාරවංශිකභාවය

මහාවිහාරවංශික ශ්‍රී විනයාලංකාර ශ්‍රාවකසභාව මගින් 2024 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතියේ අවසානයෙහි සවිස්තරාත්මක ‘උපාලි මහරහතන් වහන්සේගෙන් ඇරඹෙන ආචාර්ය පරම්පරා’ නාම සටහන් වගුවක්ද (Genealogy chart) අන්තර්ගත වේ.

පිදුම

“චන්‍ද්‍රො ජොතතිව නභෙ උපාලිනාමො අග්ගො යො විනයධරො සුබුද්ධපුත්තො සො නානානයසහිතො තථෙව ඤාතො සොභන්තො තමසදිසං නමාමි නිච්චං”

යමෙක් අහසෙහි චන්ද්‍රයා මෙන් බබළයිද, නොයෙක් නය සහිත වූ (විනය) බුදුරද මෙන් ම දැනගන්නා ලද්දේද, ඒ උපාලි නම් වූ අග්‍ර වූ බබලන්නා වූ යහපත් බුද්ධපුත්‍ර වූ අසදිස විනයධරයන් වහන්සේ නමක් වේද, (මම) එතුමන් වහන්සේට නිතර නමස්කාර කරමි.

භාග්‍යවතුන් වහන්සේගේ ඖරසපුත්‍ර වූ විනයධර භික්ෂූන් අතරින් අග්‍රතැන්පත් උපාලි මහරහතන් වහන්සේටත් එතුමන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය විනයධරයන් වහන්සේලාටත් ලක්දිව මහාවිහාරවංශය පිහිටුවා වදාළ මහින්ද මහරහතන් වහන්සේටත් දිවි දෙවැනි කොට සසුන රැකගත් මහාවිහාරවංශිකයන්ටත් මෙම ග්‍රන්ථය බැතියෙන් පුදමු.

ශ්‍රී ලංකා අමරපුර මහාසංඝසභාවේ අතිපූජ්‍ය සභාපති සහ වැඩ බලන උත්තරීතර මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආශීර්වාද පණිවුඩය

උපාලි මහරහතන් වහන්සේ සහ මහාවිහාරවංශය (අද්‍යතන ශ්‍රී ලාංකේය නිකායත්‍රයේ මහාවිහාරවංශිකභාවය පිළිබඳ අධ්‍යයනයක්) නමින් සද්ධම්මාචරිය විනයාචරිය පූජ්‍ය නාවල ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේ සහ රවීන් කෝදාගොඩ යන දෙපළ විසින් රචිත මෙම කෘතිය ශ්‍රී ලාංකේය ථේරවාදී මහාවිහාරවංශික භික්ෂු පරම්පරාව පිළිබඳව පර්යේෂණාත්මකව රචනා කරන ලද ග්‍රන්ථයකි.

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ අනුශාසනා මත ඉදි වූ අනුරාධපුර මහාවිහාරය තුළින් මෙරට සම්බුදුසසුන චිරස්ථායී කරවනු පිණිස මූලික අඩිතාලම දමන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස අරිට්ඨ ආදි රජකුමරුවන් පැවිදි කරවීමෙන් හා උපසම්පදාව ලබාදීමෙන් ශ්‍රී ලාංකේය භික්ෂු පරම්පරාව ව්‍යාප්ත තත්ත්වයට පත් විය. අරිට්ඨ මාහිමියන් ථූපාරාමයේදී පැවැත්වූ විනයසංගායනාවෙන් පසු ස්ථිර ලෙසම මෙරට සම්බුදුසසුන මුල් බැසගත්තේය. එතැන් සිට මහාවිහාර සම්ප්‍රදාය අනුගමනය කළ භික්ෂූන් වහන්සේලා මුඛපරම්පරාගතව පැවැත ආ බුද්ධවචනය සුරක්ෂිත කරගැනීමෙහිලා අප්‍රතිහත ධෛර්යයකින් යුතුව ක්‍රියා කරන්නට වූහ.

වළගම්බා රජදවස මෙරට ඇති වූ බැමිණිතියාසාය නම් දොළොස් අවුරුද්දක් පුරා පැවැති දුර්භික්ෂ සමයේදී පවා කුසට අහරක් නොලබා සාපිපාසා විඳදරාගනිමින් මහාවිහාරීය භික්ෂූන් වහන්සේලා ථේරවාදී බුදුදහම සුරක්ෂා කරගන්නට ඇපකැප වී ක්‍රියා කළහ. කලින් කලට ඇති වූ විවිධ ආක්‍රමණ හමුවේ භික්ෂූන් වහන්සේලාට මෙන්ම මහාවිහාරයට එල්ල වූයේ සුළුපටු බලපෑමක් නොවේ. ඒ සියල්ලටම මුහුණදෙමින් කෙමෙන් කෙමෙන් ඉදිරියට ආ ලක් සඟසසුන වළගම්බා රාජ්‍යසමයේදී යම් බෙදීමකට ලක් විය. එයට හේතු වූයේ වළගම්බා රජු විසින් මහාතිස්ස හිමියන්ට අභයගිරිය පූජා කිරීමයි. මහාවිහාරය ඉදි කර වසර 217කුත් මාස 10කට පසු වූ මෙම සිද්ධිය විනයධර වූ මහාවිහාරීය භික්ෂූන් වහන්සේලාට සිදු වූ බලවත් අපහසුතාවක් විය. එතෙකින් මෙම බිඳීම අවසන් වූයේ නැත. අභයගිරි විහාරයෙන් හෙවත් ධම්මරුචි නිකායෙන් වෙන් වූ 300ක් පමණ වූ භික්ෂූන් වහන්සේලා සාගල තෙරුන්ගේ මූලිකත්වයෙන් සාගලිය (ජේතවන) නමින් අභිනව නිකායක් ඇති කළහ. අභයගිරි, ජේතවන භික්ෂූන් මහාවිහාරයෙන් බැහැර වුවද, භාවිත කළ ත්‍රිපිටකය එකක්ම වූ බව පෙනේ. එහෙත් කල් යත්ම මහාවිහාරීය ත්‍රිපිටකය හා සැසඳීමේදී ඒවායේ යම් යම් ඡේදවල වෙනස්කම් පැවැති බව සඳහන් වේ.

මෙලෙස විවිධ හැලහැප්පීම් මැද ඉදිරියට ගමන් කළ සඟසසුන පළමුවැනි විජයබාහු (ක්‍රි.ව. 1055-1110) රජතුමාගේ රාජ්‍යසමය වන විට උපසම්පදා භික්ෂූන් වහන්සේලා නොමැති වීම හේතුවෙන් උපසම්පදා විනයකර්මය සිදු කිරීමට අවශ්‍ය ගණපූරණය නොමැති වන තරමට පිරිහී තිබූ බව සඳහන් වේ. ශාසනාලයැති පළමුවැනි විජයබාහු රජතුමා බුරුම මහරජතුමන්ගේ ආධාරෝපකාර ඇතිව එරටින් භික්ෂූන් වහන්සේලා වඩමවාගෙන නැවතත් ලක්දිව ශාසනප්‍රතිෂ්ඨාව ඇති කළේය. කල් යත්ම, මහාපරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) රාජ්‍යසමය වන විට ලක්දිව ක්‍රියාත්මක වූ තුන්නිකායේ භික්ෂූන් වහන්සේලා අතර අසමගිකම් වැඩි වූයෙන් විවිධ ගැටලු ප්‍රශ්න පැනනගින්නට විය. එයට පිළියම් ලෙස මහාපරාක්‍රමබාහු රජතුමා විසින් දිඹුලාගල මහාකාශ්‍යප මාහිමියන් ප්‍රධාන ධර්ම-විනයධර භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් සංඝසාමග්‍රියක් ඇති කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස සංඝරාජ පදවියක්ද ස්ථාපිත කොට ටීකාචාර්ය සාරිපුත්ත මාහිමියන් එහි පිහිටුවන ලදී. මෙලෙස සසුනේ දියුණුව ඇති වෙමින් පැවැති මේ යුගයේ බුරුමයේ ඡප්පට හිමියන් ලක්දිවට වැඩම කොට ධර්ම-විනය ශබ්දශාස්ත්‍ර හදාරා සිය රටට වැඩම කොට ‘සිංහලසංඝ’ නමින් නිකායක් පිහිටුවාගැනීමද සිදු විය.

ඉන් පසු නැවත ලක්දිව සඟසසුන විවිධ අර්බුදවලට ලක් වූ අවස්ථාවල කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187-1196), තුන්වැනි විජයබාහු (ක්‍රි.ව. 1232-1236), කලිකාලසාහිත්‍යසර්වඥපණ්ඩිත පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1236-1270), හතරවැනි විජයබාහු (ක්‍රි.ව. 1270-1272), පළමුවැනි භුවනෙකබාහු (ක්‍රි.ව. 1272-1284), තුන්වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1287-1293), දෙවැනි භුවනෙකබාහු (ක්‍රි.ව. 1293-1302), හතරවැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1302-1326), හතරවැනි භුවනෙකබාහු (ක්‍රි.ව. 1341-1351), තුන්වැනි වික්‍රමබාහු (ක්‍රි.ව. 1357-1374) ආදි රජවරුන් කලින් කල ශාසනශෝධනයන් කරවමින්, ශ්‍රී දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂා කරගනිමින්, පුදපූජා පවත්වමින් ශාසනයේ චිරපැවැත්ම උදෙසා සුවිසල් මෙහෙයක් සිදු කොට ඇත.

ක්‍රි.ව. 1412-1467 කාලයේදී රාජ්‍යත්වයට පත් හයවන පරාක්‍රමබාහු රජතුමා ධර්ම-විනය ශබ්දශාස්ත්‍ර උගත් පඬිවරුනට සංග්‍රහ කරමින් සාහිත්‍ය පෝෂණයට ක්‍රියා කළේය. ඔහුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් හයවන භුවනෙකබා (ක්‍රි.ව. 1470-1478) රජදවස බුරුමයේ ධම්මචේතිය මහරජුගේ සහාය ඇතිව මෙරටට වැඩම කළ බුරුම භික්ෂූන් වහන්සේලා පිරිසක් කැලණි නදියෙහි ඉදි කළ සීමාවකදී වීදාගම මෛත්‍රී මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලබා නැවත සිය රටට වැඩම කළ බව කල්‍යාණි ශිලාලිපිවල සඳහන් වේ. මෙලෙස වරින් වර බුරුම දේශයෙන් සහ සියම් දේශයෙන් ලක්දිවට වැඩම කොට සුපිරිසුදු උපසම්පදාව ලබාගැනීම නිසාද, ලාංකික භික්ෂූන් වහන්සේලා ලක්දිව සඟසසුන පිරිහුණු යුගවලදී එකී දෙරටට වැඩම කර උපසම්පදාව ලබාගැනීම නිසාද මේ රටවල් තුන අතර ශාසනික වශයෙන් අවියෝජනීය සම්බන්ධතාවක් ගොඩනැඟී පවතී.

ලක්දිව දැනට පවතින නිකායත්‍රය මහාවිහාරවංශයට අයත් වන්නේ කිනම් පරම්පරා මතද යන්න සුපැහැදිලි කරමින් උපාලි මහරහතන් වහන්සේ සහ මහාවිහාරවංශය (අද්‍යතන ශ්‍රී ලාංකේය නිකායත්‍රයේ මහාවිහාරවංශිකභාවය පිළිබඳ අධ්‍යයනයක්) නමින් නිර්මාණය කර ඇති මෙම ග්‍රන්ථය අගනා කෘතියක් බව සඳහන් කළ හැකිය. විවිධ මූලාශ්‍රය අධ්‍යයනය කරමින් තමන් ඉදිරිපත් කරන මතය සහේතුකව පෙන්වාදීමට කතුවරුන් සමත් වී තිබීම ප්‍රශංසාරහය. තව තවත් මෙවැනි පර්යේෂණ සිදු කරන්නට මෙම කතුවරුන් දෙපළට හැකි වේවා!යි ශුභාශීර්වාදය පළ කරමි!

අධ්‍යාපනවේදී කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති
ශ්‍රී ලංකා අමරපුර මහාසංඝසභාවේ සභාපති සහ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ රාස්සගල පාර්ශ්වයේ මහානායක මහාස්ථවිර

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආශීර්වාද පණිවුඩය

ඇහැටුවැව කඳුරුවැව ධර්මරාජගල සේනාසනයෙහි අනුශාසක ධුරන්ධර පූජ්‍යපාද නාවල ධම්මානන්ද මහාස්ථවිරයන් වහන්සේ හා බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාවීන භික්ෂු විද්‍යාලයේ කථිකාචාර්ය රවීන් කෝදාගොඩ මහතාගේත් සංස්කාරකත්වයෙන් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන ‘උපාලි මහරහතන් වහන්සේ සහ මහාවිහාරවංශය’ කෘතිය වෙනුවෙන් ආශීර්වාද පණිවුඩයක් නිකුත් කරන්නේ බලවත් සන්තෝෂයෙනි.

විනයධරත්වයෙන් අග්‍රප්‍රාප්ත උපාලි මහරහතන් වහන්සේගේ ජීවන තොරතුරු පිළිබඳ පෙළ අටුවා දෙකෙහි සඳහන් කරුණු ඒකරාශී කොට අපදාන කෘතියක් සංග්‍රහ කිරීමට සංස්කාරක දෙපළ උත්සාහ ගන්නා අතර උපාලි, දාසක, සෝණක, සිග්ගව, මොග්ගලිපුත්තතිස්ස මහරහත් පරපුරෙන් පැවැත ආ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ආරම්භ වූ මහාවිහාර භික්ෂුවංශය පිළිබඳවද හැඳින්වීමක් කිරීමට මෙම ග්‍රන්ථය මගින් උත්සාහ දරා ඇත.

පූජ්‍ය නාවල ධම්මානන්ද මහාස්ථවිරයන් වහන්සේ ‘උදකුක්ඛෙපසීමාවිභාවිනී, ඔබ භික්ෂුවක්ද?, සුපිරිසිදු නිවන්මග, සීමා’ ආදි පොත්පත් රචනා කොට ඇති වියත් හිමිනමකි. රවීන් කෝදාගොඩ මහතාද චරිතකථා රාශියක් එක්තැන් කොට ‘මහාථෙරචරිතමකරන්ද, මහාථෙරචරිතාරවින්ද, චරිතබිංදු’ වැනි පොත්පත් ලියා ඇති ලේඛකයෙකි. එම නිසා පූජ්‍යපාද නාවල ධම්මානන්ද මහාස්ථවිරයන් වහන්සේ හා රවීන් කෝදාගොඩ මහතාද එක්ව රචනා කරන මෙම ‘උපාලි මහරහතන් වහන්සේ සහ මහාවිහාරවංශය’ කෘතිය ඉතා වැදගත් ග්‍රන්ථයක් වශයෙන් කාගේත් පැසසුමට ලක් වනු නොඅනුමානය. තව තවත් මෙවැනි සම්භාවනීය ග්‍රන්ථ සකස් කිරීමට මෙම දෙපළට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි ආශීර්වාද කරමි!

මෙයට, ශාසනහිතකාමී, අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මහාස්ථවිර

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මහාස්ථවිර
2023. 11. 1

පෙරවදන

‘උපාලි මහරහතන් වහන්සේ සහ මහාවිහාරවංශය’ නමින් රචනා කොට ඇති මෙම ග්‍රන්ථය අද්‍යතන ශ්‍රී ලාංකේය භික්ෂු නිකායත්‍රයේ මහාවිහාරවංශිකභාවය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයකි. ශ්‍රී ලංකාවේ බුදුදහම පිහිටවූ මිහිඳු මහරහතන් වහන්සේ විනයධර උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් හෙයින් මහාවිහාරීය සංඝපරපුරේ වංශකථාව ලිවීමේදී උපාලි මහරහතන් වහන්සේ පිළිබඳ විශේෂ සටහනක් තැබීමද උචිතය. එසේ හෙයින්ම කතුවරුන් විසින් එම චරිතාපදානයද මෙහි ඇතුළත් කරනු ලැබ ඇත.

යම් රටක හෝ පුද්ගලයෙකුගේ හෝ යම් වස්තුවක හෝ පරම්පරාගත ඉතිහාසය කියැවෙනුයේ වංශකථා මගිනි. එබඳු වංශකථාවකට මූලය වනුයේද විශ්වයේ නොමැකෙන සටහන් තැබූ ශ්‍රේෂ්ඨ වස්තූන් හෝ පුද්ගල චරිතයි. ශ්‍රී ලාංකේය උපසම්පන්න භික්ෂු පරම්පරාව, බුදුරදුන්ගේ සම්මුඛ ශ්‍රාවක වූ විනයධර උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව හා අඛණ්ඩ සම්බන්ධතාවකින් යුක්ත බව හෙළි කොට දැක්වීමද මෙම ග්‍රන්ථකරණයේ මූලික අපේක්ෂාවකි. එය සනාථ කිරීමට කතුවරුන් උත්සාහ කොට ඇත.

මහබෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව පස්වගමහණුනන්ට ධර්මය දේශනා කොට පැවිදි කරවූ තැන් පටන් ශාසන ව්‍යාප්තිය ඇරඹිණි. විනයධර භික්ෂූන් අතර අග්‍රස්ථානය උපාලි මහරහතන් වහන්සේට පවරා විනයධර පරපුර පැවැත්වීමේ විශේෂ වගකීම උන්වහන්සේට පැවරුණු තැන් පටන් බුදුසසුනේ ආයුෂය වූ විනයයේ පැවැත්ම සඳහා උන්වහන්සේගෙන් ලැබුණේ නොමඳ දායකත්වයකි. ප්‍රථම ධර්මසංගායනාවේදී විනයපිටකය පිළිබඳ සම්පූර්ණ වගකීම දැරුවේ උපාලි මහරහතන් වහන්සේයි. අනතුරුව දඹදිව වැඩවිසූ දාසක, සෝණක, සිග්ගව, මොග්ගලිපුත්තතිස්ස යන මහරහතන් වහන්සේලා ශතවර්ෂ දෙකකටත් අධික කාලයක් එම වගකීම දැරූහ. තෙවන ධර්මසංගායනාවෙන් අනතුරුව ප්‍රත්‍යන්තදේශ නවයක බුදුසසුන පිහිටුවීම සඳහා ධර්මදූතයන් වහන්සේලා පිටත් කරවූ අතර, ලක්දිවට වැඩම කළ පිරිසේ ප්‍රධානත්වය ඉසිලූයේ මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රවුර්ජ්‍යාන්තේවාසී වූ මිහිඳු මහරහතන් වහන්සේය. උන්වහන්සේ දේවානම්පියතිස්ස මහරජු විසින් කරවා පූජා කරන ලද තිස්සාරාමය කේන්ද්‍ර කොට අරිට්ඨ, තිස්සදත්ත ආදි සිංහල භික්ෂූන් වහන්සේලා මගින් ලක්දිව පුරා විහාරාරාම පිහිටුවමින් බුදුසසුන ව්‍යාප්ත කළහ. පසු කලෙක අභයගිරිය මුල් කොටගත් වෙතුල්‍යවාදී මතවාද මිශ්‍ර සම්ප්‍රදාය බිහිවීමත් සමඟ පිරිසිදු මූලසම්ප්‍රදාය ‘මහාවිහාර පරපුර’ ලෙසින් ප්‍රචලිත විය. මහාවිහාර පරපුරේ සුවිශේෂතම මෙහෙවරක් ලෙස එතෙක් කටපාඩමින් රැකගෙන පැමිණි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් සිදු කළ සිව්වන සංගායනාව දැක්විය හැකිය. මන්ද යත්: පසු කලෙක පස්වන සහ සයවන සංගායනා සඳහා ලොව විශ්වාසනීය ථේරවාද ත්‍රිපිටකය ලෙස ලක්දිව ග්‍රන්ථාරූඪ වූ ත්‍රිපිටකය සැලකූ හෙයිනි. ලෝක-ශාසනෝන්නතිය උදෙසා ලක්දිව මහාවිහාර පරපුරේ අද්විතීය දායකත්වය මෙයින් මැනවින් ප්‍රකට වේ.

එබඳු වූ මහාවිහාර පරපුරේ වංශකථාව මතු පරපුරට දායාද කළ යුතුයමය. මෙතෙක් ඉතිහාසයේ එම පරපුර පිළිබඳ විවිධ ග්‍රන්ථ ලියැවී ඇතත්, ශාස්ත්‍රීය වශයෙන් ග්‍රන්ථාන්තර සාධක දක්වමින් මෙතරම් පැහැදිලි ලෙස මුල පටන් මේ දක්වා මහාවිහාරවංශය අවිච්ඡिन्नව පැවැති බැව් පෙන්වා දෙන වෙනත් ග්‍රන්ථයක් නම් දක්නට නොමැත. එමෙන්ම නූතන ලාංකේය භික්ෂු නිකායත්‍රයම එකම මහාවිහාර පරපුරේම ශාඛා ලෙස ශාස්ත්‍රීය වශයෙන් ස්ඵුට කොට දැක්වීම නව ශාසන සාමග්‍රියකටද හේතු වනු නොඅනුමානය. මහාවිහාරීය විනයධර පරපුරේ ආදිතමයා උපාලි මහරහතන් වහන්සේය. මෙතෙක් උන්වහන්සේ පිළිබඳ චරිතාපදානයක් දක්වා මහාවිහාරීය සඟපරපුර හා සම්බන්ධ කොට දක්නට නොලැබීමද මහත් වූ ශාසන අභාග්‍යයකි. එම හිඩැස පුරවමින් මහාවිහාර පරපුරේ වංශකථාව සමඟම උපාලි මහරහතන් වහන්සේගේ ථේරාපදානයත් සමාප්ත වීම ශාසනෝන්නතිකාමීන්ට මහත් සතුටක් වනු නිසැකය.

මෙම භාරදූර කාර්යය ඉටු කිරීම සඳහා ශාසනෝන්නතිකාමීව ඉදිරිපත් වූ පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්ථවිරපාදයන් වහන්සේටත්, නිකායත්‍රයේම මහාවිහාරවංශිකභාවය සනාථ කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් දරමින් ශාසනික හැඟීමෙන් පර්යේෂණ කාර්යයක නිරත වූ රවීන් කෝදාගොඩ මහතාටත් මාගේ විශේෂ ස්තූතියත් ආශිර්වාදයත් පිරිනමනු කැමැත්තෙමි. මෙම කාර්යයෙහිලා මෙබඳු පර්යේෂණ ග්‍රන්ථයක් මීට පෙර රචනා වී ඇතැයි නොසිතමි. විටින් විට කලින් කල පළ වූ ඉතිහාසගත තොරතුරු ඒකරාශී කොට ග්‍රන්ථ රාශියක්ද පරිශීලනය කරමින් ස්වකීය පර්යේෂණය ශාස්ත්‍රීය නිබන්ධනයක් ලෙසින් ඉදිරිපත් කිරීමට දරා ඇති ප්‍රයත්නයද ප්‍රසංසා කටයුතුය. ඒ සම්බන්ධයෙන් රවීන් කෝදාගොඩ සූරීන්ට අපගේ විශේෂ ස්තූතිය හිමි වේ.

මෙයට, ශාසනහිතකාමී,
මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක, මහාචාර්ය, අග්ගමහාපණ්ඩිත,
අතිපූජ්‍ය අත්තංගනේ රතනපාලාභිධාන මහාස්ථවිර.
2024.02.28