සුපිරිසිදු නිවන්මඟ සප්ත විසුද්ධි - නාවල ධම්මානන්ද හිමි.pdf

කතෘ :
නාවල ධම්මානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
2025
මුද්‍රිත වර්ෂය :
2025
පිටු ගණන :
90
බාගත කිරීම් ගණන :
442
වෙබ් අඩවියට එක් කළ දිනය :
2025-05-02
ගොනුවේ ප්‍රමාණය :
619 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 46

සුපිරිසිදු නිවන්මඟ (සප්ත-විසුද්ධි) යනු පූජ්‍ය නාවල ධම්මානන්ද හිමියන් විසින් රචිත, සප්ත විශුද්ධිය සහ විදර්ශනා භාවනා මාර්ගය සරලව විවරණය කෙරෙන ධර්ම ග්‍රන්ථයකි. මජ්ඣිම නිකායේ රථවිනීත සූත්‍රය සහ බුද්ධඝෝෂ හිමියන්ගේ විශුද්ධිමාර්ගය පදනම් කරගනිමින්, නිවන් මඟ පියවරෙන් පියවර විස්තර කිරීම මෙහි අරමුණ වී ඇත.

මෙම කෘතියට අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහාස්ථවිරයන් වහන්සේ විසින් පෙරවදනක් සපයා ඇති අතර, කතුවර හිමියන්ගේ හැඳින්වීමෙන් පොත සම්පාදනය කිරීමේ පසුබිම පැහැදිලි කෙරේ.

මෙහි අඩංගු ප්‍රධාන මාතෘකා:

  • සීල-විසුද්ධි
  • චිත්ත-විසුද්ධි (සමථ භාවනා කමටහන් ආදිය)
  • දිට්ඨි-විසුද්ධි, කංඛාවිතරණ-විසුද්ධි, මග්ගාමග්ගඤාණදස්සන-විසුද්ධි
  • වත්ථාළිසූකාර විපස්සනා භාවනාව සහ විදර්ශනා උපක්ලේශ
  • පටිපදාඤාණදස්සන-විසුද්ධි සහ ඤාණදස්සන-විසුද්ධි
  • බෝධිපාක්ෂිකධර්ම හා ආර්යශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳ විස්තර

මෙම මුද්‍රණය 2025 වසරේදී ථේරවාද ශ්‍රී සද්ධර්ම සංසදය මඟින් පස්වන මුද්‍රණය (සංස්කරණය IV) ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දකි.

පෙරවදන

සාගරය ගැඹුරු වූයේ අනුපිළිවෙළිනි. බුදුසසුනත් ගැඹුරු වන්නේ අනුපිළිවෙළිනි. මහසයුර දශවිධරත්නයනට ආකරයකි. ‘රත්නාකරය’ යනුවෙන් මහසයුර හඳුන්වනුයේ එහෙයිනි. සම්බුදුසසුන ද රත්නාකරයකි. සත්තිස්-බෝධිපාක්ෂිකධර්ම නමැති රත්නයන්ට ආකරයක් වැනි බැවිනි. රත්නාකරයක් වැනි වූ සම්බුදුසසුනෙහි මාර්ග-ඵල, නිවන තෙක් ගැඹුර, නුවණින් දැකගැනීමට බැස ගතයුත්තේ අනුපිළිවෙළිනි. ශීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවටත්, ප්‍රඥාවෙන් විමුක්තියට, විමුක්තියෙන් විමුක්තිඥානදර්ශනයටත් නුවණින් පැමිණිය යුතු වන බැවිනි.

සත්ත-විසුද්ධියෙන් බුදුසසුනෙහි අනුපිළිවෙළ විවරණය වෙයි. සීල-විසුද්ධියෙන් බුදුසසුනෙහි ආදිකල්‍යාණය නම් වූ ශීලශික්ෂාව ද, චිත්ත-විසුද්ධියෙන් මධ්‍යකල්‍යාණය නම් වූ සමාධිශික්ෂාව ද, ඉතිරි විසුද්ධි පසෙන් ම පර්යවසානකල්‍යාණය නම් වූ ප්‍රඥාශික්ෂාව ද සපිරේ. යථෝක්ත ශික්ෂාත්‍රයෙන් ම නිර්වාණාවබෝධයට ප්‍රත්‍යය වන සත්තිස්-බෝධිපාක්ෂිකධර්මයෝ අනුපිළිවෙළින් වැඩෙති.

අනවරාග්‍ර සංසාරයෙන් එතෙර වී ශාන්ත නිවන්සුව සාක්ෂාත්කිරීම පිණිස සැමදෙනා විසින් සත්තවිසුද්ධි වැඩිය යුතු ම ය. ත්‍රිපිටකයෙහි සහ අර්ථකථාවන්හි ඇතිතාක් කරුණු එක්කොට සංක්ෂේප වූත් සරල වූත් අර්ථවිවරණය කරමින් ‘සුපිරිසිදු නිවන්මඟ’ යන නමින් මේ දහම්පොත සම්පාදනය වී ඇති ආකාරය අතිශයින් ප්‍රශංසනීය යි. නිවන්මඟ තත්වාකාරයෙන් විවරණය කරන ‘විසුද්ධිමග්ග’ අර්ථකථාව මේ සඳහා විශේෂයෙන් ගුරුතැන තබා ගෙන ඇත. පිටකත්‍රයාගත ‘සත්ත-විසුද්ධි’ සංඛ්‍යාත නිවන්මග සර්වාකාරයෙන් හෙළි කරනුයේ විසුද්ධිමග්ගය ම බැවිනි.

ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් යොදා ඉතාමත් නිවැරදි ව මේ දහම්පොත සම්පාදනය කළ පූජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේට රත්නත්‍රය සතු අසීමිත සූවිසි මහගුණානුභාවබලයෙන් තව තවත් ධර්මඥානයත් භාවනාඥානයත් විංශත්ගතවර්ෂාධික කාලයක් ආයුරාරෝග්‍යාදි ශ්‍රී සම්පත් ද අත්වේවා !

‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’

මෙයට,
මෙත්ති,
නා උයනේ අරියධම්ම ස්ථවිර,
නා උයන අරණ්‍යසේනාසනය,
පන්සියගම, මැල්සිරිපුර.

හැඳින්වීම

දසබලසේලප්පභවා - නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංගමග්ගසලිලා - ජිනවචනනදී චිරං වහතු.

තුන්ලෝකාග්‍ර වූ ශාන්තිනායක අප බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අනුපිළිවෙලින් නිවන කරා ගැඹුරට යන්නකි. ඒ බව පැහැදිලි වන උතුම් දේශනාවකි, මජ්ඣිමනිකායේ මූලපණ්ණාසකයෙහි සඳහන් ‘රථවිනීත’ සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මසේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේත් ධර්මකථික භික්ෂූන් අතරින් අග්‍රතැන් පත් මන්තානිපුත්තපුණ්ණ මහරහතන් වහන්සේගේත් ධර්මසාකච්ඡාවකි, මෙම සූත්‍රයෙන් ඉදිරිපත් කෙරෙන්නේ. සීලවිසුද්ධියෙන් ඇරඹෙන යෝගාවචර ප්‍රතිපදාව අනුපිළිවෙලින් චිත්ත-විසුද්ධි, දිට්ඨි-විසුද්ධි, කංඛාවිතරණ-විසුද්ධි, මග්ගාමග්ගඤාණදස්සන-විසුද්ධි, පටිපදාඤාණදස්සන-විසුද්ධි, ඤාණදස්සන-විසුද්ධි යන සප්ත-විශුද්ධීන් සම්පූර්ණ වීමෙන් නිර්වාණධාතුව සාක්ෂාත් කිරීම දක්වා අනුපිළිවෙළින් සන්තානය විශුද්ධියට පත් වන ආකාරය යි, එම සූත්‍රයෙහි සඳහන් ව තිබෙන්නේ. සප්ත-විශුද්ධීන් පිළිබඳ සංක්ෂිප්ත සඳහනක් පමණි, ‘රථවිනීත’ සූත්‍රයෙහි දැක්වෙන්නේ. සප්ත-විශුද්ධීන් පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් දක්නට ලැබෙන්නේ මහාඅට්ඨකථාවාර්ය බුද්ධඝෝෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සංග්‍රහ කරන ලද ‘විසුද්ධිමග්ග’ ග්‍රන්ථයෙහි ය. ‘විසුද්ධිමග්ග’ ග්‍රන්ථය වනාහි ‘සුත්තානුලෝම’ ගණයට අයත් අට්ඨකථාවන් අතර විශිෂ්ට ග්‍රන්ථරත්නයකි. මුළුමහත් ත්‍රිපිටකයෙහි හා අට්ඨකථාවන්හි සාරය විසුද්ධිමග්ගයෙහි සංග්‍රහ වී ඇතැ’යි පවසතොත් එය අතිශයෝක්තියක් නො වනු ඇතැ’යි සිතමි. සම්පූර්ණ ත්‍රිපිටකය ම අධ්‍යයනය කිරීමට අපහසු යෝගාවචරයන් විසින් අඩු ම තරමින් ‘විසුද්ධිමග්ග’ ග්‍රන්ථය හෝ ඉගෙනීමට වෑයම් කළ යුතු ය. ශීල-සමාධි-ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් අනුව සප්ත-විශුද්ධීන් අනුපිළිවෙලින් විවරණය කෙරෙමින් ශ්‍රීමත් බුද්ධඝෝෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ‘විසුද්ධිමග්ග’ ග්‍රන්ථයෙහි ධර්මකරුණු පෙළගස්වා ඇත්තේ බබළන මිණිරුවන් පෙළක් පෙළගස්වන පරිද්දෙනි. විසුද්ධිමග්ගය වනාහි භාවනා උපදෙස් ලබා දෙන ගුරුවරුන්ට ගුරු-අත්පොතකි. එසේ ම නිවන් සාක්ෂාත් කරනු රිසියෙන් භාවනා කරන යෝගාවචරයන්ට නිවැරදි මඟ පෙන්වන මහාර්ඝ උපදේශ ග්‍රන්ථයකි. ධර්මකථිකයනට සදහම් ආකරයකි. එහි වටිනාකම අවබෝධ කර නො ගත් පෙර-අපර දෙදිග ඇතැම් විචාරකයන් විසුද්ධිමග්ගය පිළිබඳ නොයෙක් සදොස් විවේචන ඉදිරිපත් කරමින් නිවන්මඟ අසුරා ගත්තත් බුරුමයෙහි වැඩවසන අග්ගමහාකම්මට්ඨානාචරිය අතිපූජනීය පා-අවුක් (ආචිණ්ණ) සෙයාඩෝ මාහිමිපාණන් වහන්සේ බඳු බහුශ්‍රැත යෝගාවචරයන් වහන්සේලා විසුද්ධිමග්ගය ඇසුරින් නිවන්මඟ විවර කරගෙන ලොවුතුරුමිහිර අත්විඳිති. විසුද්ධිමග්ගය වනාහි එදත් අදත් කවදත් සදහම්මිහිර හඳුනන නුවණැති සත්පුරුෂයන්ගේ ශ්‍රද්ධා-බුද්ධි වඩවන උතුම් ග්‍රන්ථරත්නයකි.

විසුද්ධිමග්ග ග්‍රන්ථය කියවා කරුණු දැනගැනීමට අවස්ථාවක් නො ලබන සැදැහැති උපාසක-උපාසිකාවන්ගේ ශ්‍රද්ධා-බුද්ධි වර්ධනය පිණිස සප්ත විශුද්ධීන් පිළිබඳ ව කෙටියෙන් හඳුන්වා දෙමින් අප විසින් සකස් කරන්නට යෙදුණු දහම්ලිපි පෙළ පසු ව එක්තැන් කරමින් ‘සුපිරිසිදු නිවන්මඟ’ නම් මෙම කුඩා ධර්මග්‍රන්ථය සංග්‍රහ කරන ලදී. මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරෙන්නේ සප්ත විශුද්ධීන් පිළිබඳ මූලික හැඳින්වීමක් පමණක් බැවින් වැඩි දුරටත් විස්තර දැනගනු කැමති සත්පුරුෂයෝ ‘විසුද්ධිමග්ග’ (විශුද්ධිමාර්ගය) ග්‍රන්ථය පරිශීලනය කරත්වා !

මහාඅට්ඨකථාවාර්ය බුද්ධඝෝෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සප්ත-විශුද්ධීන් මැනවින් විවරණය කරමින් ‘විසුද්ධිමග්ග’ ග්‍රන්ථය සම්පාදනය කරනු ලැබූ නිසා ය, ඒ ඇසුරින් අපට මෙබඳු ධර්මග්‍රන්ථයක් සම්පාදනය කළ හැකිවූයේ. එනිසා පළමු ව මහාඅට්ඨකථාවාර්ය බුද්ධඝෝෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාර පූර්වක ප්‍රණාමය පුදකර සිටිමි.

එසේ ම මෙම ධර්මසංග්‍රහය සම්පාදනය කිරීමෙන් අප විසින් ජනිත කරගත් ධර්මදානමය කුසලසම්භාරය අපගේ ප්‍රව්‍රජ්‍යාචාර්ය අතිගරු පූජනීය කිතුලම්පිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේට ද මහෝපාධ්‍යාය රාජකීයපණ්ඩිත අතිගරු පූජනීය කඩවැද්දුවේ ජිනවංශ මාහිමිපාණන් වහන්සේට ද සෙසු ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට ද අත්පත් වීමෙන් ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවන්සුව සැලසේවා !

විවිධාකාරයෙන් මාහට උපකාර කරන මහාවිහාරවංශික ශ්‍රී විනයාලංකාර ශ්‍රාවකසභාවේ ස්වාමීන් වහන්සේලාට ද මෙම ධර්මදානමය කුසලබලයෙන් ආයුරාරෝග්‍යසම්පත් හා නිවන්සුව අත්පත් වේවා !

හැදූවැඩූ මවුපිය දෙදෙනාටත් සිවුපසයෙන් උපස්ථාන කරන දායකකාරකාදි සැමටත් විශේෂයෙන් ම මෙම ධර්මග්‍රන්ථය මුද්‍රණය කිරීම සඳහා ශ්‍රී සද්ධර්ම සංසදය වෙනුවෙන් තම වටිනා කාලය, ශ්‍රමය, ධනය වැය කරමින් දිවාරාත්‍රී වෙහෙස වූ සෙසු සැමදෙනාටත් මෙම ධර්මදානමය කුසලකර්මයේ බලයෙන් ධර්මඥාන, භාවනාඥාන වර්ධනය කරගෙන සුව සේ නිවන්සුව අත්විඳීමට ලැබේවා!

මෙම ධර්මදානමය කුසලකර්මය ඉන්ද්‍රෝපේන්ද්‍රාදි දිව්‍යරාජ බ්‍රහ්මරාජ සමූහයාටත් සදේවකලෝකයාටත් ධර්මාවබෝධය පිණිස ම හේතු වේවා !

සාධු ! සාධු !! සාධු !!!

මෙයට,
සසුන් ලැදි,
පූජ්‍ය නාවල ධම්මානන්ද හිමි,
ලේඛකාධිකාරී, මහාවිහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවකසභාව,
ධර්මරාජගල රාජමහාවනසෙනසුන,
කඳුරුවැව, ඇහැටුවැව.