පූජාවලිය
වේරගොඩ අමරමෝලි හිමි
මෙම පොත වෙබ් පිටු ලෙස මෙතනින් කියවන්න.
පටුන
පටුන

සංඥාපනය.

මේ පූජාවලි නම් ග්‍රන්‍ථය වනාහි සම්‍යක් සම්බුද්ධ සර්‍වඥ රාජෝත්තමයන් වහන්සේට මූලප්‍රණීධියෙහි පටන්ද බුද්ධත්වයෙන් එක්දහස් අටසිය නව වසක් මුළුල්ලෙහි ද සනරාමර සකල ලොක්‍යා විසින් අතිශය උත්කර්ෂවද් භාවයෙන් යෙදී සිදු කරණ ලද ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් පිළිබඳ ‘ආවලිය’ මෙහි සන්දර්භය වශයෙන් දැක්වෙන හෙයින් ‘පූජාවලී’ නම් විශේෂ නාමයකින් යුක්ත වූයේ ‘අර්හත් ගුණ වර්ණනා’ නම් අපර නාමධෙයයක් ද ඇති වූවකි.

“අප මහ රජහට බෝධිසත්ව පාරමිතායෙන් යෙදුනා වූ බණක් වදාළ මැනව” යි කරණ ලද දෙවප්‍රතිරාජ මහ ඇමති තුමන්ගේ අරාධනාව පිළිගත් ‘මයුරපාද පරිවෙණාධිපති බුද්ධ පුත්‍ර ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ මෙය ‘ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො’, යනාදි නවගුණ පාඨයට ඇතුළත් ‘අරහං’ යන පදය ගෙන එය සුකෝමල හෙලු බසින් වර්ණනා කිරීම් මුඛයෙන් රචනා කළහ.

යථෝක්ත බුද්ධපුත්‍ර ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ වනාහි මහ පැරකුම්බා රජතුමන් විසින් කරවන ලද පොළොන්නරු ජේතවන මහා විහාරයෙහි අධිපතිව වැඩ සිටියා වූ ත්‍රිපිටක ධර්මයෙහිද තදන්‍ය ශාස්ත්‍ර විෂයෙහි ද පරතෙර පැමිණියා වූ ටීකාචාර්‍ය්‍ය ශාරිපුත්‍ර සඞ්ඝරාජයන් වහන්සේගේ ශිෂ්‍ය වූ ගණවැසි වංශාභිජාත මහනෙත් පාමුල සුමංගල මාහිමියන්ගේ සොහොයුරු වූ, එසේම උන්වහන්සේ වෙතින්ම ධර්ම ශාස්ත්‍රය හදාළා වූ ධර්ම ශාස්ත්‍රයෙහි හා තදන්‍ය ශාස්ත්‍රයන්හි පටුතර බුද්ධිමත් වූ බහුශ්‍රැත මහා ස්ථවිරයන් වහන්සේ නමකි. බුදු බැව් පතා ගුණ දහම් පිරීමෙහි නියුක්ත උතුමෙකි. සාමාන්‍ය ලෝක වර්ගයාගේ හිත සැප පිණිස මුන්වහන්සේ විසින් ම යෝගාර්‍ණවය, ප්‍රයෝග රත්නාවලිය යන වෛද්‍යක ග්‍රන්‍ථයෝද රචිතයහ.

අනුරාධපුරයෙහි බුද්ධදාස රජතුමන් විසින් කරවන ලද මොනර පිරිවෙණ නම් විහාරය ගැන මහාවංසයෙහි සඳහන් වේ. එහෙත් මෙහි සඳහන් වන මයුරපාද පිරිවෙණ එය ම යයි නිශ්චයට නො යා හැකිය. මේ ග්‍රන්ථය නිපදවන කාලයෙහි අනුරාධපුරයෙහි පැවති විහාරායතනාදිය සාකල්‍යයෙන් ම වන බිහි වී ගොස් ය. එසේ ම භික්‍ෂු පරපුරද සිඳී බිඳී ගොස් ය. පුරා විද්‍යාධිකාරි උතුමන්ගේ ද අදහස් පරිදි මෙහි සඳහන් මයුරපාද පිරිවෙණ කෑගලු දිස්ත්‍රික්කයේ මාවනැල්ල නම් පෙදෙසෙහි පිහිටි වාතගිරි යන අපරනාමයකින් ප්‍රසිද්ධ වාගිරිගල පිහිටියෙකැයි නිශ්චයට යා යුතුව තිබේ. දැනට කැලෑරොදින් ගහන වූ මෙහි වනාහි ගල්ලෙන් පොකුණු ආදි නටබුන්ව ගිය දේ දකින්ට ලැබේ.

පෙර මේ ස්ථානය සිංහල මහා බලකොටුව වශයෙන් ද රක්‍ෂිත ධනස්ථානය වශයෙන්ද ඇතැම් සිංහල රජවරුන්ට අතිශයින් පිහිට විය. පසුව ආරණ්‍යායතනයක් බවට පරිවර්තිත වූයේ පූජාවලී නම් ශ්‍රේෂ්ඨ ග්‍රන්‍ථ නිෂ්පාදක බුද්ධ පුත්‍ර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජය භූමිය ද විය.

ක්‍රි: ව: 1250 දී ලක් රජයට පැමිණ පන්තිස් වසක් රාජ්‍යය විචාළා වූ කලිකාල සාහිත්‍ය සර්‍වඥ පණ්ඩිත ද්විතීය පරාක්‍රමබාහු රජතුමන්ගේ තිස්වන හවුරුදුයෙහි පූජාවලි ග්‍රන්ථය නිමවාලීය යි එහි සඳහන් වේ.

තුන්වැනි විජයබාහු මහා රජතුමන්ගේ පුත් වූ ii පැරකුම්බා රජතුමා දඹදෙණි පුරය රාජධානිය කොට ගෙන ලඞ්කාරාජ්‍ය පදප්‍රාප්ත විය. මේ රජතුමාගෙන් ශාස්ත්‍රයටද ආගමටද සිදු වූ සේවය අනල්ප ය. දඹදෙණි කාලයෙහි නිෂ්පාදිත ග්‍රන්ථයන්ගෙන් මෙකලද ශාස්ත්‍රය උද්දීප්තව පවතී. විසුද්ධි මාර්‍ග සන්නය මේ රජතුමන්ගේම කෘතියකි. එතුමාගේ ශාස්ත්‍රාගම විෂයෙහි පැවති ඥානය මේ එකම ග්‍රන්ථයෙන් ප්‍රකාශිතය.

දඹදෙණිය, කුරුණෑගල, කැලණිය, අත්තනගල්ල, වාගිරිගල, බෙන්තොට, තොටගමුව, වැලිගම, දෙවුන්දර ආදී ස්ථානයන්හි පිරිවෙන් විහාර පිහිටුවා මේ රජතුමා ආගමික වර්‍ධනයද කරවාලීය.

පෙර යා නො හැකිව තිබූ විෂමස්ථානයන්හි මාර්‍ග ඉදි කරවා ඒදඬු පාලම් සාදවා, තැන් තැන්වල උයන් වතු නිපදවා, වැව් අමුණු බඳවා මහජන සේවයද මැනවින් ඉටු කෙළේය.

දුනුකේවතු පරපුරෙන් පැවත ආවා වූ දෙව ප්‍රතිරාජ මහ ඇමතිතුමා ද්විතීය පරාක්‍රමබාහු රජතුමන්ගේ ආගමික කෘත්‍ය සංවිධානයෙහි ශ්‍රේෂ්ඨස්ථානය ඉසිලීය. හේ යුද්ධයෙහිද ඉතා දක්‍ෂයෙකි. චන්‍ද්‍රභානු හා කළ යුදෙහි දී ඒ බැව් මැනවින් ප්‍රකට විය. අනොමදස්සි මාහිමියන් කළ සිදත් සඟරාවෙහි මෙසේ ප්‍රතිරාජ මහ ඇමති තුමාගේ ගුණ වර්‍ණය දැක්වේ.

“සඳවන සිඳු කිය කුඹුයොන නම සත රා

කිවී සෙවෙත තොද වැලිනී යලතො ගො රා

අරුණු කිහෙනි වී කෙරළන් ලැබ හුරි රා

පැටිවනෙදෙස යුද පතිරජ දිය ඉසු රා”

යනුවෙනි.

එසේම එතුමාගේ තත්ත්‍වය එහි මෙසේද සඳහන් වේ.

“දකුණලක සියල්-බුජමහවුරෙනි රක්නා,

දෙදෙව් රදලගම් විමනග-පතිරජ දෙව් සැරදෙනේ.”

යනුයි.

පූජාවලියෙහිද‍

“.............................. මාගේ ඒ අදහස් දැන ලෝවැඩෙහි බැඳෙන ඇමතියෙක් කවරේදෝහෝයි සිතා එකනාලිකේරඵලයක් බුදුබැව් පතාරෝපණය කොට තුන් ඇස්සෙන් තුන් පැලයක් නංවා ගත් දිළිඳුන් දැක අඹුදරුවන් පවා දන් දුන් බුදුවෙම්වයි පතන තුණුරුවනෙහි පහන්දේව ප්‍රතිරාජ නම් ඇමතියා කැඳවා................” යනාදි වශයෙන් සඳහන් වේ.

ii පැරකුම්බා රජතුමන් සියලු ආගමික කාර්‍ය්‍ය සාධක ශාසනාමාත්‍ය ධුරයට මේ දේව ප්‍රතිරාජ මහා ඇමතිතුමන් පත් කළ බැව්ද එහි සඳහන් වේ. අන්තිමේ දී බුද්ධ පුත්‍ර ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ පූජාවලිය රචනා කොට නිමවා රජතුමන්ට පිළිගැන්වීම ද මේ ඇමතිතුමන් ලවා ම කරවූහ.

පූජාවලි ග්‍රන්ථය වනාහි සද්ධර්‍මරත්නාවලි, සද්ධර්‍මාලඞ්කාර, සද්ධර්‍මරතනාකරාදිය වැනි අනුවාදක ග්‍රන්ථයක් නොවෙයි. ‘අරහං’ යනාදි පදය විස්තර කරමින් ත්‍රිපිටක ධර්‍මයෙන් හේතු උදාහරණ පෙන්වමින් ආගම ශාස්ත්‍රය විෂයෙහි ස්වකීය පටුතර භාවය විදහා දක්වමින් සැපයුනු ග්‍රන්ථයක් වෙයි.

පූජාවලිය කල්පනාවෙන් යුක්තව කියවන්නා හට එකවිට ම අවබෝධ වන්නේ කර්‍තෘන් වහන්සේගේ ධර්‍මය විෂයෙහි පැවති පෘථුල භාවයයි. චින්තාමාණික්‍යයක්, භද්‍රඝටයක් වැනිවූ පූජාවලි ග්‍රන්ථය පාඨකයාගේ අභිරුචිය පුන පුනා ඇතිකරයි. මුහුණ වරක් හාස්‍යයෙන්ද, වරක් කඳුළුවලින්ද යුක්ත කරයි.

මට සිලුටු බසින් රචිත මේ ග්‍රන්ථය ශාස්ත්‍රය අතින් ද ඉමහත් අභිවෘද්ධියක් සිදු කරයි. මේ ග්‍රන්ථය ලත් රජතුමා දෙවන රාජ්‍ය ලාභයක් මෙන් කල්පනා කෙළේය. සියලු රාජ කෘත්‍යයන් නවත්වා මසක් මුළුල්ලෙහිම ක්‍ෂණ ක්‍රීඩාවෙහි යෙදුනේය. සිය බිසොවුන් ලවා මඟුලැතුව නංවා මහත් පෙළහරින් නගරය ප්‍රදක්‍ෂිණා කරවිය.

මෙහි ප්‍රමාණය පරිච්ඡෙද සූතිසකින් පරිමිතය. ග්‍රන්ථ වශයෙන් සූවිසි දහසකි. බණවර වශයෙන් සයානුවකි. අක්‍ෂර වශයෙන් සත්ලක්‍ෂ අට සැට දහසක් වෙති.

  1. පරිච්ඡේදය:- මහා සඞ්ග්‍රහ පූජා සූතිසකින්ද,
  2. පරිච්ඡේදය:- අට ලක්‍ෂ අසූ දහස් එක්සාලිසක් අභිනීහාර මගුල් පූජාවන් ගෙන්ද,
  3. පරිච්ඡේදය:- පස් පණස් ලත්‍ෂ විසි දහසක් සාමාන්‍ය විවරණ පූජාවන්ගෙන්ද,
  4. පරිච්ඡේදය:- බොධි සම්භාර තෙළෙස් පූජාවකින්ද,
  5. පරිච්ඡේදය:- සුසාළිසක් ජාති භෙද මහා පූජාවන්ගෙන්ද,
  6. පරිච්ඡේදය:- සූවිස්සක් මහා ජාතිභෙද පූජාවන්ගෙන්ද,
  7. පරිච්ඡේදය:- දෙ ලක්‍ෂ සතළිස් දහසක් සාධුනාද පූජාවන්ගෙන්ද,
  8. පරිච්ඡේදය:- දෙතිසක් මහා පූර්‍ව නිමිති පූජාවෙන්ද,
  9. පරිච්ඡේදය:- දෙලක්‍ෂ සතළිස් දහස් දෙතිසක් ප්‍රසව මඞ්ගල පූජාවන්ගෙන්ද
  10. පරිච්ඡේදය:- පන්ලක්‍ෂ දොළොස් දහසක් මහාබිනික්මන් පූජාවන්ගෙන්ද,
  11. පරිච්ඡේදය:- සාරලක්‍ෂ විසිදහස් තෙසාළිසක් බොධිමණ්ඩල පූජාවන්ගෙන්ද,
  12. පරිච්ඡේදය:- දෙලක්‍ෂ සතළිස් දහසක් බ්‍රහ්මාරාධනා පූජාවන්ගෙන්ද,
  13. පරිච්ඡේදය:- දෙලක්‍ෂ සතළිස් දහස් දෙතිසක් දම්සක් පැවතුම් පූජාවන්ගෙන්ද,
  14. පරිච්ඡේදය:- දෙලක්‍ෂ පනස් දහස් තුන්සිය සුසාළිසක් වෙළුවනාරාම පූජාවන්ගෙන්ද,
  15. පරිච්ඡේදය:- සාරලක්‍ෂ විසිදහස් එකක් නිග්‍රොධාරාම පූජාවන්ගෙන්ද,
  16. පරිච්ඡේදය:- සඞ්ඛ්‍යාපථාතික්‍රාන්ත මහා පූජාවන්ගෙන්ද,
  17. පරිච්ඡේදය:- දෙසිය සැත්තෑවක් ජෙතවනාරාම පූජාවන්ගෙන්ද,
  18. පරිච්ඡේදය:- එක්සිය විස්සක් පූර්‍වාරාම පූජාවන්ගෙන්ද,
  19. පරිච්ඡේදය:- අප්‍රමාණ ප්‍රතිපත්ති පූජාවෙන්ද,
  20. පරිච්ඡේදය:- අසදෘශ දාන පූජාවෙන්ද,
  21. පරිච්ඡේදය:- සත් දහස් පන්සිය තිසක් ගංගාරෝහණ පූජාවන්ගෙන්ද,
  22. පරිච්ඡේදය:- අසූ දහසක් දිව්‍යරාජ පූජාවෙන්ද,
  23. පරිච්ඡේදය:- දෙලක්‍ෂ සතළිස් දහස් එක්සිය තෙයාසූවක් යමක ප්‍රාතිහාර්‍ය්‍ය පූජාවෙන්ද,
  24. පරිච්ඡේදය:- දෙකෙළ සොළොස් ලක්‍ෂයක් පාණ්ඩුකම්බලාසන පූජාවන්ගෙන්ද,
  25. පරිච්ඡේදය:- දෙලක්‍ෂ සැත්තෑ දහස් පන්තිසක් දෙවොරොහණ පූජාවන්ගෙන්ද,
  26. පරිච්ඡේදය:- අප්‍රමාණ භික්‍ෂුණී ප්‍රතිපත්ති පූජාවෙන්ද,
  27. පරිච්ඡේදය:- මහා ප්‍රජාපතිඅද්භූත මහා පූජාවෙන්ද,
  28. පරිච්ඡේදය:- ජීවකාරාම පූජාවෙන්ද,
  29. පරිච්ඡේදය:- දෙවදත්තාවතාර සම මෙත් පූජාවෙන්ද,
  30. පරිච්ඡේදය:- අජාසත් දමනාදි පූජාවෙන්ද,
  31. පරිච්ඡේදය:- යශෝධරා ප්‍රාතිහාර්‍ය්‍ය ප්‍රතිපත්ති පූජාවෙන්ද,
  32. පරිච්ඡේදය:- තුදුස් ලක්‍ෂ සත් පනස් දහස් නවසිය සයානුවක් ධර්‍මශෝක පූජාවන්ගෙන්ද,
  33. පරිච්ඡේදය:- සුවහස් ගණන් මිහිඳු මාහිමි ප්‍රතිපත්ති පූජාවෙන්ද,
  34. පරිච්ඡේදය:- එක් තෙපනසක් රජුන්ගේ උද්දෙසික පූජාවන්ගෙන් ද යුක්තවේ.

කොළඹ වේල්ල වීදියේ රත්නාකර පොත් වෙළඳහල හිමි ජී.පී.ඩී. ගේබ්‍රියෙල් මහතාගේ නියමය පරිදි ඒ මහතාගේ පුත්‍ර ජී.පී.ඩී. සේනාරත්න මහතා පූජාවලි ග්‍රන්ථය සංශෝධනය කර දෙන ලෙස අපට ආරාධනා කෙළේය. විද්‍යෝදය පිරිවෙනේ අධ්‍යාපනය පිළිබඳ කාර්යයන්හි නිරත වුවත් මේ කාර්‍ය්‍යයෙහිද යෙදුනෙමු. එසේම ඇතැම් සංස්කරණයන්හි මුල් ග්‍රන්ථ තත්ත්‍වය පසෙක දමා තිබුණු බවක් පෙණුනු හෙයින් මුල් පොත යම්තමින්වත් ආරක්‍ෂාවන පරිදි අපේ සංස්කරණය සකස් වී ඇත. ඇතැම් තන්හි ප්‍රමාධයෙන් වූ දෝෂ ස්ථානද තිබිය හැකිය. දෙමසක පමණ කාලයක් තුළ දී මේ පොත මුද්‍රණද්වාරයෙන් බිහි කරවන්ට ඒ මහතුන්ගේ අදහස වූ හෙයින් යුහුසුලුව මෙහි සංශෝධන කාර්‍ය්‍යය නිම කෙළෙමු.

රත්නාකර මුද්‍රණාලයායත්ත කාර්‍ය්‍ය මණ්ඩලයෙහි මහතුන්ටද, එසේම ශොධ්‍ය පත්‍ර කියවීමේදී අපට අතිශයින් උපකාර වූ බද්දෙගම ආනන්‍ද පොඩි උන්නාන්සේටද අපේ ස්තුතිය හිමි විය යුතු ය.

පණ්ඩිත වේරගොඩ අමරමොලි නායක ස්ථවිර.

2497/1953-10-7 දින විද්‍යොදය පිරිවෙනේ දී ය.

පූජාවලිය

____

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.

1. පූජා සංග්‍රහ කථා

නවපද විභාගය

ඉති’පි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසධම්ම සාරථි සත්‍ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති.

සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ; ඉති පි අරහං - මුළු ලෝ වැසියන් විසින් කරන ලද ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවට සුදුසු හෙයින් ද, තමන් රහසත් පව් නො කරන හෙයින් ද, කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින්ද, කෙලෙස් නමැති සතුරන් නැසූ හෙයින් ද, අවිජ්ජා-සංඛාර නමැති නාභි ඇති. ජරා මරණ නමැති නිම්වළලු ඇති, ආශ්‍රය සමුදය නමැති අකුරෙන් විද, තුන් ලෝ නමැති රියෙහි යොදන ලද, සංසාර නමැති චක්‍රයාගේ කුශලාකුශලකර්‍ම නමැති අර බෝමැඬ දී ම සීල නමැති පොළොවෙහි, වීර්‍ය්‍ය නමැති පයින් සිට ශ්‍රද්ධා නමැති හස්තයෙන් ගත් කර්‍මක්‍ෂයකරඥාන නමැති ඵරසුවෙන් පලා, සුනුවිසුණු කොට මූලොච්ඡින්න කළ හෙයින් දැ යි යන මේ ආදි අර්ථයෙනු දු අර්‍හත් නම් වන සේක.

එසේ හෙයින් කියන ලදි:

ආරකත්තා හතත්තා ච - කිලෙසාරීන සො මුනි

හතසංසාර චක්කාරො - පච්චයාදීනචාරභො

න රහො කරොති පාපානි - අරහං තෙන පවුච්චති’ යි.

සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ; ඉතිපි සම්මා සම්බුද්ධො - සංස්කාරධර්‍මයන් සකසා දත් හෙයිනු දු, සංස්කාර ධර්‍මයන් විශේෂයෙන් දත්හෙයිනු දු, ලක්‍ෂණ ධර්‍මයන් සංලක්‍ෂණය කොට දත් හෙයිනු දු, නිර්‍වාණ ධර්‍මයන් සර්‍වප්‍රකාරයෙන් දත් හෙයිනු දු, ප්‍රඥප්ති ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂකොට දත් හෙයිනු දු, ආර්‍ය්‍යසත්‍යයන් විශේෂයෙන් දත් හෙයිනු දු, මෙසේ සියලු දතමනා ධර්‍මයන් නිමවා දත් හෙයිනු දු, භාවිත කළමනා ධර්‍මයන් විශේෂයෙන් භාවිත කළ හෙයිනු දු, දුරුකළමනා ධර්‍මයන් දුරින් ම දුරු කළ හෙයිනු දු, සියලු සත්‍වයන්ට ද කරතලාමලක ක්‍රමයෙන් අවබෝධ කරවූ හෙයින් දැ යි යනාදි නානාවිධ වූ අර්ථයෙන් සම්මා සම්බුද්ධ නම් වන සේක.

වදාළේ මැනෝ:

අභිඤේඤෙය්‍යං අභිඤ්ඤාතං - භාවෙතබ්බඤ්ච භාවිතං,

පහාතබ්බං පහීණම්මෙ - තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ - යි.

සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ, ඉති’පි විජ්ජාචරණසම්පන්නො :- පෙර විසූ කඳ පිළිවෙළ දැන්ම, දිව ඇස, ආශ්‍රවයන් නැසීම ය යි යන මේ ත්‍රිවිද්‍යායෙන් යෙදුනු හෙයින් ද, විදර්‍ශනා ය, මනෝමය සෘද්ධි ය, සෘද්ධිප්‍රභේද ය, දිව්‍ය ශ්‍රෝත්‍ර ය, පරසිත් දැන්ම ය. පූර්‍වෙනිවාස ය, දිව්‍යචක්‍ෂූෂ ය, ආශ්‍රවක්‍ෂය ය යන මේ අෂ්ට විද්‍යායෙන් යෙදුනු හෙයින් ද; ප්‍රාතිමොක්‍ෂ සංවරශීල ය, ඉන්‍ද්‍රිය සංවරශීල ය, භෝජනයෙහි මාත්‍රඥාන ය, නිදිවර්ජිත කිරීම ය, ශ්‍රද්ධා ය, හ්‍රී ය, ඔත්තප්ප ය, බහුශ්‍රැතත්‍ව ය, වීර්‍ය්‍ය ය, ස්මෘති ය, ප්‍රඥා ය, සතර රූපාවචර ධ්‍යාන ය යන මේ පසළොස් චරණ ධර්‍මයෙන් යෙදුනු හෙයින් දැ යි යන මේ ආදි අර්ථයෙනු දු විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන්වහන්සේ, ඉතිපි සුගතො - සුන්‍දර වූ ගමන් ඇති හෙයිනුදු, සුන්‍දර වූ ශරීර ඇති හෙයිනු දු, සුන්‍දර වූ දේශනා විලාස ඇති හෙයිනු දු, සුන්‍දර වූ නිවන් භූමියට සුන්‍දර ව ගියහෙයින් දැ යි යන මේ ආදි අර්ථයෙනු දු සුගත නම් වන සේක.

සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ, ඉති’පි ලොකවිදූ - සත්‍වලොක ය, අවකාශලොකය, සංස්කාර ලොකය, කාමලොක ය, රූපලොක ය, අරූපලොක ය, සහශ්‍රී ලොක ය, දශසහශ්‍රීලොක ය, කොටි ශතසහශ්‍රී ලොක ය යනාදි ලොකයන් නිමවා දත් හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනු දු ලොකවිදූ නම් වනසේක.

සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ; ඉති’පි අනුත්තරො - ශීලයෙන් ද, සමාධියෙන් ද, ප්‍රඥාදියෙන්[1] ද, විමුක්තියෙන් ද, විමුක්තිඥානයෙන් ද, මුළුලොව තමන්ට වඩා අනික් උතුම් කෙනෙකු නැති හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනු දු අනුත්තර නම් වනසේක.

සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන්වහන්සේ; ඉති’පි පුරිසදම්මසාරථී - බකබ්‍රහ්ම, ආලවක, අංගුලිමාල, ශක්‍ර, සභිය, සුචිරොම, ඛරරොම, සච්චක, නන්‍දොපනන්‍දාදී දම්‍ය පුරුෂයන් දමා සරණසීලයෙහි පිහිටුවා වැඩ දී හික්මවනලද හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනු දු පුරිසදම්මසාරථී නම් වනසේක.

සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන්වහන්සේ; ඉති’පි දෙවමනුස්සානං සත්‍ථා - දෙවියන්ට ද, මනුෂ්‍යයන්ට ද, මෙලොවින් ද, පරලොවින් ද, අනුශාසනාකොට සංසාරදුර්‍ගයෙන් ගොඩනගා නිර්‍වාණක්‍ෂෙමභූමියට පමුණුවන හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනු දු ශාස්තෘ නම් වනසේක.

සො භගවා බුද්ධො - ඒ භාග්‍යවත් වූ බුදුරජාණන්වහන්සේ; ඉති’පි භගවා - දාන ශීලාදී සමත්‍රීන්සත් පාරමිතාවෙන් ජනිත වූ භාග්‍ය ඇති හෙයින් ද; රාගාදී කෙලෙසුන් භග්නකළ හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනු දු භගවත් නම් වනසේක.

මෙහි ‘භගවත්’ යනු දෙකක් හා ‘බුද්ධ’ යනු දෙකක් හා අනික් සත්පද ය හා එකොළොස්පද ය අරහාදි ගුණ නවයකට බෙදුනු හෙයින් පළමුවන භගවත් යන්න හා අන්තයෙහි කී බුද්ධ යන්න ගෙන ‘සො භගවා බුද්ධො’ යි කියා බිඳ නවපදයෙහි අර්ථකථනය කළහ යි දතයුතු.

එහි නවපදවිභාගය දැක්වූ පූර්‍වාර්ථ කථාචාරීන් විසින් මෙසේ කියන ලදි.

අරහං අරහො’ති නාමෙන - අරහො පාපං න කාරයෙ,

අරහත්ත ඵලං පත්තො - අරහං නාම තෙ නමො,

.

සම්මාසම්බුද්ධ ඤාණෙන - සම්මාසම්බුද්ධ දෙසනා,

සම්මාසම්බුද්ධ ලොකස්මිං - සම්මාසම්බුද්ධ තෙ නමො.

.

විජ්ජාචරණ සම්පන්නො - තස්ස විජ්ජා පකාසිතා,

අතීතානාගතුප්පන්නා - විජ්ජාචරණ තෙ නමො.

.

සුගතො සුගතත්තානං - සුගතො සුගතො සුන්‍දරම්පි ච,

නිබ්බානං සුගතිං යන්ති - සුගතො නාම තෙ නමො.

.

ලොකවිදූති නාමෙන - අතීතානාගතෙ විදූ,

සඞ්ඛාර සත්තමොකාසෙ - ලොකවිදූ නාම තෙ නමො.

.

අනුත්තරො ඤාණ සීලෙන - යො ලොකස්ස අනුත්තරො,

අනුත්තරො පූජ ලොකස්මිං - තං නමස්සාමි අනුත්තරො.

.

සාරථි සාරථි දෙවා - යො ලොකස්ස සුසාරථී,

සාරථි පූජ ලොකස්මිං - තං නමස්සාමි සාරථි.

.

දෙව යක්ඛ මනුස්සානං - ලොකෙ අග්ග ඵලං දදං,

දදන්තං දමයන්තානං - පුරිසා ජඤ්ඤ තෙ නමො.

.

භගවා භගවා යුත්තො - භග්ග කිලෙසවාහතො,

භග්ග සංසාර මුත්තාරො - භගවා නම තෙ නමො’ යි.

සදෙව්ලොව එකැඟිල්ලෙන් පෑවා සේ, නවමහ බඹලොව නම් මේ ය යි කියා ඉඟි ලා පෑවා සේ, නව අරහාදී බුදුගුණයෙහි මේ සංක්‍ෂෙපාර්ථ නම. විස්තර වශයෙන් වණත්, එකසක්වළෙක මිනිසුන් මහමුහුද පැන් ඉස නිමවාලිය නො හැක්කැ සේ, එක් රජපිරිසක් මහපොළොවෙහි පස් ඇද නිමවාලිය නො හැක්කා සේ, එක් දිවයිනෙක මිනිසුන් මහමෙර ඔසවාලිය නො හැක්කා සේ, එක් තෙලිතුඩකින් හිමවුගල සොලවාලිය නො හැක්කා සේ, එක් සියොතක්හුගේ පතින් අහස්කුස වසාලි ය නො හැක්කා සේ, එක් සතකු ඇඟිල්ලෙන් ගුවන්කුස මැන නිමවාලිය නො හැක්කා සේ එක් රැලෙක කුහුඹුවන් ඇත් බඳෙක මස් බිඳකා නිමවාලි ය නො හැක්කා සේ, එක් ගමෙක මිනිසුන් මහගග පැන් උකා බී නිමවාලිය නො හැක්කා සේ, එක් රැලෙක ගිරවුන් සුවහස් කිරි ඇති කෙතක කරල් සිඳ නිමවාලිය නො හැක්කා සේ, එක් සතකු ඇසින් බුදුන් රූ බලා නිමවාලිය නො හැක්කා සේ, එක් සක්විතිරජපිරිසක් මහමුහුද රුවන් උකා නිමවාලිය නො හැක්කා සේ, එක්සක්වළෙක මිනිසුන් බුදුන්ගේ සතරමහ නිධානයෙහි රුවන් උකා නිමවාලිය නො හැක්කා සේ, මහා මේරුව එක්සිදුහතුකරගඬුවකින් සඟවාලිය නො හැක්කා සේ, මිහිමඬල නිය අස්සේ සඟවාලිය නො හැක්කා සේ, එක් සත්‍වයෙකුගේ මුඛයෙන් තබා බුද්ධොත්පාදයෙක උපන් තුන්ලෙව්හි හැම නියවතුනු දු බුදුගුණ වණත් නිමවාලිය නො හැක්කේම ය.

සද්ධර්මය අද්භූත බව

කීයේ මැනෝ:

සක්කා චෙ නභමඞ්ගුලෙන මිනිතුං සින්‍ධූදකං බින්‍දුතො,

මෙරුං සාසපභාජනෙ නිදභිතුං භූමිං නඛග්ගන්තරෙ.

කම්පෙතුං ධරණීධරං හිමධරං ආහච්චතුලංසුනා,

නො චෙ නාථගුණොදධිම්පතරිතුං කෙනා’පි ලොකත්තයෙ.

එසේ හෙයින් සද්ධර්‍ම සමුද්‍රය සේ අද්භූත වූ ධර්‍මයන් ඇතියේ ය. කපක් මුළුල්ලෙහි වර්‍ණනා කොටත් නිමවාලිය නො හැක්කා වූ විස්මය කර වූ ගුණයන් ඇති යේ ය. බඹලොව සේ අචින්තෙය්‍ය වූ චින්තාවන් ඇති යේ ය. රජුන්ගේ රාජ්‍ය පුදවා ගන්නා තරම් අසාධාරණ වූ උපමා ඇති යේ ය. බුදුනු දු අතින් පවා ආදර ලබන තරම් උතුම් වූ මහිම ඇති යේ ය. එහි විභාග වෙන වෙන ම මෙසේ දතයුතු. ඒ සමුද්‍රය තෙම අද්භූත වූ ධර්‍මයන් අටදෙනෙකුන් විරාජමාන ව දිව්‍ය අසුර නාගයන්ට ක්‍රීඩාමණ්ඩල ය වි ය. මාගේ බුදුන්ගේ ගුණ මුහුද ද අද්භූත වූ ධර්‍මයන් අටදෙනෙකුගෙන් විරාජමාන ව ප්‍රඥාවන්ත වූ විශුද්ධරාජයන්ට ක්‍රීඩාමණ්ඩලය ව මගුල් ගෙයක් සේ වි ය.

හේ කෙසේද? යත්;

ඒ සමුද්‍රය කෙළවර පටන්ගෙන අඟලෙක, වියතෙක, රියනෙක, යටෙක, ඉස්බෙක, ගව්වෙක, යොදනෙක, සියක් යොදනෙක, දහසක් සෙදනෙකැ යි යනාදි වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ගැඹුරු ගැඹුරු වූ සුවාසූදහසක් යොදුන් අතිගම්භීර ව කිසිවක් හට අවිෂය ව සිටියේ ය. මාගේ බුදුන්ගේ සද්ධර්‍ම සාගරය ද ත්‍රිවිධ වූ ශික්‍ෂා ය, සප්තානුස්මෘති ය, අෂ්ටාර්‍ය්‍යමාර්‍ග ය, ත්‍රයොදශධූතගුණ ය, අෂ්ටාදශ විදර්‍ශනා ය, සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මයෝ ය, අටතිස් අරමුණු ය, සමසතළිස් කර්‍මස්ථාන ය, දෙසිය පනස් මහාශික්‍ෂා ය යනාදි වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ගැඹුරු ව සුවාසූදහසක් ධර්‍මස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙකින් අතිගම්භීර ව සුගත් මෙර පැහැර ක්‍ෂොභවමින් සිට ගත මේ පළමුවන අද්භූත ධර්‍මය ය.

තව ද ඒ මහාසමුද්‍රය සුවහස් ගණන් මහරළ දිව වෙලාන්තය ඉක්ම අඟුලකුත් යා නො හෙයි. එසේ ම මාගේ බුදුන්ගේ සද්ධර්‍ම සාගරයෙහි ශ්‍රාවකගණ නමැති මහරළ පඞ්ක්තීහු, ඔබගේ ශික්‍ෂාපද නමැති වෙලාන්ත ය ඉක්ම ජීවිතාන්ත ය දක්වා ත් යා නො හෙන්නාහ. මේ දෙවන අද්භූතධර්‍මය ය.

තව ද ඒ මහාසමුද්‍රයෙහි හස්ති, අශ්ව, අහි කුණපාදී කුණපයෙක් වේව යි, කෘෂ්ට ශෛවාලාදී කසලෙක් වේව යි, මැද රඳාලිය නො දී වේලාන්තයට පහකොට ඇමදා ම පිරිසිදු ව තිබෙන්නේ ය. මාගේ බුදුන්ගේ සද්ධර්‍මසාගරයෙහි ද ශ්‍රාවකගණ නමැති මහරළ පඞ්ක්තීහු කෙලෙස් නමැති කුණපයන් හා පාපපුද්ගල නමැති දණ්ඩශෛවාලයන් ගිහිවෙලාන්තයට පහ කොට ඇමදා ම පරිශුද්ධ කරන්නාහු ම ය. මේ තුන්වන අද්භූත ධර්‍මය ය.

තව ද ඒ මහාසමුද්‍රයට ගඞ්ගා යමුනාදී නානාවිධ නාමයෙන් ප්‍රසිද්ධ වූ නො එක් ගඞ්ගාසමූහයෝ වැද තමතමන්ගේ පූර්‍වනාමයන් හැර සමුද්‍රනාමයට පැමිණෙන්නාහ. මාගේ බුදුන්ගේ සද්ධර්‍ම සාගරයට ද ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදී ප්‍රසිද්ධ වූ චාතුර්‍වර්‍ණයෝ ද, අවශේෂ වූ චණ්ඩාල පුක්කුසාදී ලාමක වූ නානාකුලජාතීහු ද පැමිණ තම තමන්ගේ පූර්‍වයෙහි වූ වෙන වෙන ජාති ගොත්‍ර හැර බුද්ධ පුත්‍ර නාමයට පැමිණ උතුම් වන්නාහ. මේ සතර වන අද්භූත වූ ධර්‍මය ය.

තව ද ඒ මහාසමුද්‍රය කපක් මුලුල්ලෙහි වස්නා ඝන මහා වර්‍ෂාවෙනුත් උතුරුවාලිය නො හැක්ක. වර්‍ෂශතසහස්‍රයක් වැසි නො වස්නේ වී නමුත් අඟලක් පමණකුත් අඩු නො වේ ම ය. මාගේ බුදුන්ගේ සද්ධර්‍මසාගරයෙහි ද අසඞ්ඛ්‍යගණන් මණ්ඩලවල බොහෝ සත්‍වයන් අමාමහනිවන් දක්වතු ත් පූරණත්‍වයෙකු ත් නො පැණෙයි. කෙතෙක් සත්‍වයෝ නොවතත් ඌනත්‍වයෙකුත් නො පැණෙයි. නොහොත් බුද්ධොත්පාදයෙක උපන් කෙතෙක් නියවතනුත් ඔබගේ ගුණයෙන් සද්ධර්‍මවර්‍ෂා කළත්, ගුණ මුහුද උතුරුවාලිය නො හැක්ක, නා නා ලබ්ධිගතුවන් කෙතෙක් උත්සාහ කළත්, ඒ ගුණ මුහුද අඩුකොට ලිය නො හැක්ක. එසේ හෙයින් මේ පස්වන අද්භූත ධර්‍මය ය.

තවද ඒ මහාසමුද්‍රය සකල කාලයෙහි ම අනික් රසයක් නැති ව එකවිධ වූ ලවණරසයෙන් ම විරාජමාන ය. එහෙයින් ම මාගේ බුදුන්ගේ සද්ධර්‍මසාගරය ද සර්‍වාකාරයෙන් අනික් රසයක් නැතිව අමාමහනිවන් රසයෙන් ම හොබනේ ය. ප්‍රේමණීය වී ය. මේ සවන අද්භූත ධර්‍මය ය.

තවද ඒ මහාසමුද්‍රය මුක්තාමාණික්‍යාදී නානාවිධ වූ රත්නයෙන් සශ්‍රීක වි ය. මාගේ බුදුන්ගේ සද්ධර්‍මසාගරය ද සතර සම්‍යක් ප්‍රදාණ ය, සතර සෘද්ධිපාද ය, පඤ්චෙන්‍ද්‍රිය ය, පඤ්චවිධ වූ බලය, ෂඩ්අභිඥා ය, සප්ත බොධ්‍යඞ්ග ය, සප්ත ආර්‍ය්‍යධන යා අෂ්ටාර්‍ය්‍ය මාර්‍ග ය, නවලොකොත්තර ධර්‍ම ය යනාදී නානාවිධ වූ ධර්‍මරත්නයෙන් සම්පූර්‍ණ ව සශ්‍රීක වි ය. ප්‍රේමණීය වි ය. එසේ හෙයින් මේ සත්වන අද්භූත ධර්‍ම ය ය.

තව ද ඒ මහාසමුද්‍රයෙහි තිමිය, තිමිඞ්ගලය, තිමිරපිඟලය, අජ්ඣාරොහණය, ආනන්‍දය යනාදී සියලු සියදහස්ගණන් යොදුන් දිග ඇති මහාමත්ස්‍යරාජයන්ගේ විජෘම්භණයෙන් ඉතා හොබනේ ය. මාගේ බුදුන්ගේ සද්ධර්‍ම සාගරය ද, ශාරිපුත්‍ර, මෞද්ගල්‍ය යන ආනන්‍ද රාහුලාදී මහාශ්‍රාවක රාජයන්ගේ පැලඹීමෙන් ඉතා ම හොබනේ ය. එසේ හෙයින් මේ අටවැනි වූ අද්භූත ධර්‍මය ය.

මෙසේ අද්භූත ධර්‍මයන් දැක අතිප්‍රසන්න වූ ශ්‍රාවකගණ නමැති දිව්‍යරාජයෝ මාගේ බුදුන්ගේ සද්ධර්‍මසාගරයට වැද, සිල් නමැති නැව් නැඟී, කර්‍මාස්ථාන නමැති රිටි හා පලුපත් ගෙණ, ශික්‍ෂාපද නමැති තරු ලකුණු බල බලා, ඉන්‍ද්‍රිය නමැති රුවල් නගා, තිලකුණු නමැති යොතින් බැඳ රඳව රඳවා, කරුණා නමැති දිය ඉස ඉස, ප්‍රඥා නමැති හස්තයෙන් ධ්‍යාන නමැති ක්‍රීඩා කෙළි කෙළ කෙළ, නිවන් නමැති මහසුව විඳිනාහු ය. මේ ආදී කාරණයෙන් සද්ධර්‍මය සමුද්‍ර ය බඳු වූ අද්භූත ධර්‍මයන් ඇති යේ ය යි දතයුතු.

තවද ඒ සමුද්‍රය නිමවා බැස බලා පී ම සෘද්ධිමතුන්ට විෂය ම ය. මාගේ බුදුන්ගේ සද්ධර්‍මසාගර ය වනාහි සෘද්ධිමතුන්ටත් අවිෂය මැ යි.

බුදුගුණ අචින්ත්‍යය බව

කාරණා කිම? යත්;

මේ ලෝකයෙහි ලොවුතුරා බුදුන්ට වඩා සෘද්ධිමත් කෙනෙක් නැත්තාහ. එසේ වූ බුදුකෙනෙකුන් බුදුවූ දවස් පටන් අනිකෙක නො යෙදී තමන්ගේ ආයුෂ්කල්ප ය මුළුල්ලෙහි එක් බුදුකෙනෙකුන්ගේ ගුණ මුහුද වැද හලලා ගුණවර්‍ණනා කරත්හු නම් කප ගෙවේ ම ය. බුදුගුණ නො ගෙවේ මැ යි; මේ මේ කාරණයෙනු දු බුදුගුණ නිමවා වණන්නට සෘද්ධිඥාන ලදුවන්ටත් අවිෂය ම යයි දතයුතු.

වදාළේ මැනෝ :-

බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං,

කප්පම්පි චෙ අඤ්ඤමහාසමානො;

ඛීයෙථ කප්පො චිර දීඝමන්තරෙ,

වණ්ණො න ඛීයෙථ තථාගතස්ස.

තව ද එක්කලෙක තෙවළා බුදුවදන් දන්නා මහතෙර දෙදෙනෙක් එක් මගෙක යෙති. එයින් පසු ව වඩනා මහා ස්ථවිරයෝ පෙරටුව වඩනා මහතෙරුන්ට තමන් මහනුවණැති බැව් හඟවා කියන්නාහු ‘ස්වාමීනි! බුදුගුණ ඉතා බෙහෙව. විස්තර වශයෙන් පොත් සංග්‍රහකරත් හොත් බඹලොව දක්වා පොත් ගොඩවේ දෝ හොයි සිතමි” කීහ. එබස් අසා පෙරටුව වඩනා මහතෙරහු තමන් උන්ට වඩා සියුම් වූ නුවණ ඇතිහෙයින් සිනා පහළ කොට “ඇවැත්නි! එසේ බුදුගුණ ලඝුකොට කිවුන බුදුගුණ බොහෝ වුව. බඹලොව උස්තෙනෙක් දැ”යි වදාළහ. එවේලෙහි පස්සෙහි වඩනා මහතෙරහු බුදුගුණ ලඝුකොට කියවුනැ යි කීයෙම් නොවෙමි. මාගේ නුවණ පමණින් බුදුගුණ දැක්වීමි. මට ක්‍ෂමාකළ මැනවැ”යි කියා මහතෙරුන් ක්‍ෂමා කරවූහ. මෙසේ බුදුගුණ බඹලොව සේ අචින්තෙය්‍ය ය. බුද්ධධර්‍මයෝ ද අචින්තෙය්‍යහ. මෙසේ ම අචින්තෙය්‍ය අප්‍රමෙය්‍ය වූ බුදුන් කෙරෙහි ද, ධර්‍මය කෙරෙහි ද, පහන්වූවානට විපාකයෝ ද අචින්තෙය්‍ය අප්‍රමෙය්‍ය වූහ යන මේ ආදි කාරණයෙනු දු බුදුගුණ බඹලොව සේ අති උස් වූ චින්තාවක් ඇති සේ ය යි දතයුතු.

සැදැතිස් රජු දහම් අසා ලක්රජය පිදීම

වදාළේ මැනෝ:-

එවං අචින්තියා බුද්ධා - බුද්ධධම්මා අචින්තියා,

අචින්තීයෙසු පසන්නානං - විපාකො හොති අචින්තියො’ - යි.

තව ද එක්කලෙක තෙවළා බුදුවදන්හි ඉතා දක්‍ෂ වූ කළුබුද්ධ රක්ඛිත නම් මහාක්‍ෂීණාශ්‍රව ශ්‍රාවක කෙනෙක් අනුරාධපුරනුවර කළුතිඹිරිය මුල වැඩහිඳ, බොහෝ දිව්‍ය මනුෂ්‍යයන්ට කාලකාරාම නම් සූත්‍රයෙකින් රාත්‍රී බණ වදාරති. එ දවස් ශ්‍රීලඞ්කාධිපතිවූ ‘සැදෑතිස්ස නම් පින්වත් රජෙක් කිසියම් කටයුත්තක එතැන් පත් ව මහතෙරුන් බණ කියන්නා දැක පිරිස් කෙළවර නො පෙනී සිට දැන් බණ සමහර කෙරෙති. දැන් බණ සමහර කෙරෙති බණ සමහරකළ විටෙක මුත් මෙ තැනින් නො යෙමි යි සිතා තුන්යම් රාත්‍රිය මුලුල්ලෙහි සිටි පිය නො සොල්වා සිට බණ අසා අරුණොද්ගමන වේලෙහි මහතෙරුන් පන්සිල් දී බණ සමහර කළ කල අන්තයෙහි සිටි රජ්ජුරුවෝ ද පන්සිල් ගෙන මහත්කොට සාධුකාර දී තමන් එතැන සිටි බැව් හඟවා මහතෙරුන්ට පෙණුනාහ. එ කල මහතෙරහු රජ්ජුරුවන් දැක මහරජ කවර විටක අවුදැ?යි විචාළහ. රජ්ජුරුවෝත් ස්වාමීනි! නුඹවහන්සේ යම් වේලෙක ධර්‍මදේශනාවට පටන්ගතුයේ වී නම් එ වේලෙහි ම මෙ තැනට ආයෙම් වේ දැයි කීහ. එ වේලෙහි මහතෙරහු විස්මය පත් ව මහරජ! තෙපි ඉතා ම රාජ සුකුමාලය, තුන්යම් රෑ කෙසේ නම් සිට කෙසේ සිත එකඟ ව බණ අසාගතුදැ?යි විචාළහ. රජ්ජුරුවෝ ස්වාමීනි! මේ එක් රාත්‍රියක් තබා නුඹවහන්සේ හා මාගේ හා ආයුෂ්කල්පය මුළුල්ලෙහි ද එසේ වූ බණක් වදාරනුයේ වී නම් මෙසේ ම සිට බණ අසම් ම ය. මාගේ ලඞ්කාද්වීපය මුළුල්ලෙහි කැවිටි දඬුඅඟක් ඔබාලන තරම් බිමෙකු දු හිම් නො වන තරම් වෙම්ව යි නුඹ වදාළ බණින් පදයකුත් පිල්ලකුත් නො පිරිහෙලා සිත හෙලා ඇසිම්ම ය යි ශපථ කළහ.

එ වේලෙහි මහතෙරහු සාධු! සාධු! මහරජ යි රජ්ජුරුවන්ට තුන්යලක් සාධුකාර දුන්හ. සිසාරා සිටි මහපිරිස ද සාධුකාර දී පැන නැංගාහ. දෙවියෝ ද මහරජහට සාධුකාර දුන්හ. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ ද තව ද මහතෙරුන් වැඳ සිට “ස්වාමීනි! මෙසේ වූ දහම්නයක් මෙතෙක් දවස් නො ඇසූවිරීමි. බුදුන් දහම් මෙසේ බොහෝදෙයක් බවත් නොදන්නෙමි. මෙසේ වූ ධර්‍මයක් නිමවා නුඹ කෙසේ ඉගෙනගත්තෙහි ද?”යි විචාළාහ. එ වේලෙහි මහ තෙරහු “මහරජ! කුමක් කියව් ද? අප බුදුහු තුන්පිටකයෙහි වදාළ පන්සිය පනස් ජාතකදේශනාවෝ ය, දෙසියනවානූවක් වස්තුකථා දෙශනාවෝ ය, සතළිස්දහස් පන්සිය පන්සැත්තෑවක් පමණ සූත්‍රදේශනාවෝ ය යි යනාදීන් ඉතා ගහන වන්නාහ. එයින් එක් සූත්‍රයක්හුගේ කිසියම් නයෙක් වේ ද, (ඒ) මා කීයේ, බුදුන් දහම් ඉතා බොහෝ දෙයෙක් වේ දැ”යි වදාළ සේක. එ බසට රජ්ජුරුවෝ නැවත මහතෙරුන් වැඳ “එසේ ස්වාමීනි යි! නුඹ වදාළ බණටත් වඩා තවත් බණ බොහෝදැ”යි කීහ. “බෙහෙව මහරජ!” යි වදාළ සේක. “නුඹ වදාළ බණ මද නියාවටත්, නො වදාළ බණ බොහෝ නියාවටත් මට උපමා කියා හඟවා වදාළ මැනවැ”යි කීහ.

එ වේලෙහි මහතෙරහු ධර්‍ම ය බොහෝ නියාව නො එක් උපමායෙන් රජ්ජුරුවන්ට හඟවන්නාහු “මහරජ! සිදුහත් කරඬුවකින් උකා ගත් සමුද්‍ර ජලය ස්වල්ප වන්නා සේ, අවශේෂ වූ සමුද්‍රජලය අප්‍රමාණ වන්නා සේ මා විසින් කීවා වූ ධර්‍මය ස්වල්පයෙක් ම ය. නො කීවා වූ ධර්‍මය අප්‍රමාණ මැයි. තව ද මහරජ! ලිහිණියක ආකාශයෙහි පියාසර කරණකල ඇගේ පක්‍ෂයෙන් වැසී ගිය ආකාශය ස්වල්ප වන්නා සේ නො වැසුනා වූ ආකාශය අප්‍රමාණ වන්නා සේ මා විසින් කීවා වූ ධර්‍මය ස්වල්ප ය. නො කීවා වූ ධර්‍මය අප්‍රමාණ මැයි. තව ද මහරජ! මහපොළොවින් උපචිකාවක්හුගේ මුඛයෙන් ඩැහැගත් පස්බින්දු ස්වල්ප වන්නා සේ, සෙසු මහපොළොවෙහි පස් අප්‍රමාණ වන්නා සේ, මා මේ සූත්‍රයෙන් තොපට කීවාවූ ධර්‍මය ස්වල්ප ම ය. නො කීවා වූ ධර්‍මය අප්‍රමාණ මැයි. තව ද මහරජ! පිපීළිකා මුඛයෙන් ඇත්බඳෙකින් ඩැහැගත්තා වූ මාංසබින්දුව ස්වල්ප වන්නා සේ, අවශේෂ වූ හස්තිමාංසය අප්‍රමාණ වන්නා සේ, මාගේ මුඛයෙන් කීවා වූ ධර්‍මය ස්වල්පයෙක් ම ය, නො කීවා වූ ධර්‍මය අනල්ප වන්නේ ය. තවද මහරජ! චාතුර්ද්වීපික මහාමෙඝයක් සත්දවසක් ධාරානිපාතයෙන් වස්නා කල කෙතෙක එක් ලියද්දෙක්හි වටුවා වූ වර්‍ෂාව ස්වල්ප වන්නා සේ, සතර මහ දිවයින වසින්නා වූ අවශෙෂ වර්‍ෂාව අප්‍රමාණ වන්නා සේ, මා විසින් කීවා වූ ධර්‍මය ස්වල්පයෙක් ම ය. මාගේ බුදුන්ගේ මා නො කීවා වූ ධර්‍මය අප්‍රමාණ මැ යි. තව ද මහරජ! මහගංවතුරකට හිදිකටු මලක් පොවාලූ කල්හි ඒ හිදිකටු මල හස්සෙහි යන දිය ස්වල්ප වන්නා සේ, උභයභාගයෙන් දිවන මහවතුරු අප්‍රමාණ වන්නා සේ මා දෙසූ ධර්‍මය ස්වල්ප ය. නො දෙසූ ධර්‍මය අප්‍රමාණ මැ යි. තව ද මහරජ! දහසක් කිරිය මහ ගැල් කෙත්හි එක් කරළක් කඩා මැඩි ධ්‍යානයෙන් ස්වල්ප වන්නා සේ, අවශේෂ වූ ධාන්‍යයෙන් අනල්ප වන්නා සේ, මා කී ධර්‍මය ස්වල්පයෙක් ම ය. නො කීවා වූ ධර්‍මය අප්‍රමාණ ය.” යනාදීන් නොයෙක් උපමායෙන් රජ්ජුරුවන්ට බුදුන් දහම් බොහෝ පරිදි හැඟවූ සේක.

එ වේලෙහි මහතෙරුන්ගේ වාග්ලීලාවෙහි හා ධර්‍මගම්භීරත්‍වයෙන් අති ප්‍රසන්න වූ රජ්ජුරුවෝ උපමායෙන් උපමාවෙහි මහ තෙරුන්ට නමස්කාරයෙන් වඳින්නාහු පස්වනක් ප්‍රීතීන් පිනමින් සියළඟ ලොමු දැහැ ගන්වමින් අමෘතාභිෂෙකයක් ලදුවා සේ සද්ධර්‍මාමෘත සන්තොෂයෙන් මත්වූවාහු “ස්වාමීනි, නුඹ අද වදාළ මේ උපමාවට සක්විති රජ වී නම් සත්රුවන් පුදම් ම ය. මුළු දඹදිවට අගරජ වීම් නම් එ දඹදිව පුදම් ම ය. දෙව්රජ වීම් නම් දිව්‍ය රාජ්‍යයත් පුදම් ම ය. එසේ හෙයින් නුඹ වදාළ උපමාවට තරම් පූජා වස්තු දැන් මාගේ නැත. එසේ ද වුවත් මාගේ ශක්ති පමණ දුගී පඬුරකින් නුඹට පූජාවක් කෙරෙමි”යි කියා මෙ සියක් යොදුන් ලංකාද්වීපය හා සියලු තමන්ගේ දළපුඩු සේසත් ආදි වූ රාජ සම්පත්තිය මහතෙරුන්ට පූජා කළහ. එ වේලෙහි මහතෙරුන් වහන්සේ “මහරජ! තොපගේ රාජ්‍යයෙන් අපට කම් නැත. අපට අපගේ දහම් රාජ්‍යය පමණ, අප සතු රාජ්‍යය දුක්පතුන්ට පීඩා නො කොට, නො බදු අය නො ගෙන, තුණුරුවන් රක්‍ෂාකොට දැහැමෙන් රජය කරව”යි රාජ්‍යය රජ්ජුරුවන්ට ම පාවාදී, රජ්ජුරුවන් රාජධර්‍මයෙහි පිහිටුවා සමු දී යවා වදාළ සේක. මේ ආදී කාරණයෙනු දු ධර්‍මය රජුන්ගේ රාජ්‍ය පුදවා ගන්නා තරම් අතිගම්භීර වූ උපමා ඇතියේ ය යි දතයුතු.

තව ද එක්කලෙක අප බුදුන් මල්, නන්‍දමහතෙරහු මහපිරිස් පිිරිවරා ධර්‍මාසන නැඟී හිඳ රාත්‍රී බණ වදාරති. එදා බුදුහු නන්‍දයා අද රාත්‍රි බණක් කිය යි. මාගේ ධර්‍මයෙහි බොහෝ දෙනා ආදර කරණ පරිද්දෙන් අද මම ද බණ අසමි යි සිතා සුගන්‍ධ ගන්‍ධකුටියෙන් බාහ්‍ය ව ගඳකිළි නිස වත්තෙහි වැඩ සිට වලාගැබෙකින් මුවහ වූ පුන්සඳක් සේ සියලු පිරිසට නො පෙනීම තුන්යම් රෑ සිටි පිය නො සොල්වා සිට බණ අසා මහතෙරුන් අලුයම බණ සමහරක්ළ කළ බුදුහු සරත් වලාගැබකින් පෙණුනු හිරුමඬලක් සේ මහපිරිසට පෙනී ශ්‍රී මුඛයෙන් නිකුත් සුවඳින් බණ පිරිස සුවඳ පිඩක් සේ කරමින් “සාධු! සාධු!! නන්‍දය, මාගේ අදහස් නො වරදවා ම බණ කීයෙහි ය” ස්තුති කළසේක. එ වේලෙහි මහ පිරිස් බුදුන් දැක ඉපිල පැන නැංගාහ. එ වේලෙහි මහතෙරුන් වහන්සේ ආසනයෙන් පැන නැගී ගොස් බුදුන් වැඳ සිට “ස්වාමීනි! නුඹවහන්සේ රාජසුකුමාල ව, බුද්ධසුඛුමාල ව, තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි කෙසේ නම් සිට බණ අසා වදාළ සේක්ද?”යි දැන්වූ සේක. එ වේලෙහි බුදුහු “නන්‍ද ය, එක් දවසක් මා බිම සිට බණ ඇසුයේ කවර විස්මයෙක් ද? ඉදින් තාගේ, මාගේ ආයුෂ්කල්පය මුළුල්ලෙහිත් සමහර නො කොට බණ කියන්නේ වී නම් මෙසේ සිට ම අසන්නෙම් වේ දැ යි වදාළ සේක. එ වේලෙහි බොහෝ ශ්‍රාවකයන් වහන්සේ බුදුන්ට සාධුකාර දී වදාළසේක. එතැන් පටන් බොහෝ සත්‍වයෝ ද ධර්‍මයෙහි මහත් වූ ආදර කළහ.

පූජාවලිය ආරම්භයට හේතුව

එයින් කීහ:-

“සුද්ධාභිධම්ම රසපාන මනොමපඤ්ඤා

සක්කච්ච සොත පතහත්‍ථ පුටා පිබන්තු,

ධම්මිස්සරොපි භගවා සකලම්පි රත්තිං

ගෙහාජිරම්හි ඨිතකො’ච සුණිත්‍ථ ධම්මං” යි.

මේ ආදි කාරණයෙන් සද්ධර්‍මය සියලු සතුන් විසින් ආදර කටයුතු. සත්කාරයට භාජන වූ හෙයිනුත්, දහම් අතිගම්භීර දෙයක් ම වනැයි දතයුතු. මෙසේ මාගේ බුදුන්ගේ සද්ධර්‍මය නම්: අනොප මෙය වූ, අද්භූත වූ, අචින්ත්‍ය වූ, අසදෘශ වූ, අතිගම්භීර වූ, දුරවගාහ්‍ය වූ, නානා නය නිපුණ වූ, කර්‍ණරසායන වූ, ලොකාභිනීය වූ, ප්‍රෙමණීය ධර්‍මයක් හෙයින් මේ නව අරහාදී බුදුගුණ වෙන වෙන වණා නිමවන්නට මාසේ වූ එක් නුවණකින් යෙදුනා වූ සත්‍වයෙක් හට බැරි ම ය. එසේ ද වුවත්: මෙතැන වනාහි ශ්‍රී ලඞ්කාධිපති වූ අප ශ්‍රී සඞ්ඝබොධි පරාක්‍රමබාහු නම් නරපතීහු කලෙක මහත්වූ රාජ සෘද්ධීන් මහත්වූ උත්සවයෙන් දන්තධාතු පූජාවක් කොට මහත් වූ බුද්ධාලම්භන ප්‍රීතීන් පිණ පිණා සිටි කල්හි ඔහුගේ ම බුද්ධත්‍වාභිලාෂී වූ දෙවප්‍රතිරාජ නම් අගමැතියාණන් විසින් එ දවස් රජ්ජුරුවන් කරා ගොස් රජහු පූර්‍වයෙහි තුණුරුවන්ට කළා වූ නොයෙක් පූජා සත්කාර සඳහන් කොට “හිමි නුඹ වැනි ඤාණවන්ත වූ මෙසේ මෙසේ මහපින් රැස්කරණ මහපින්වත් රජක්හු බුදුබැව් පැතීමෙහි උපෙක්‍ෂාවනු නො යෙදෙයි. බුදුවන්නට වහා ප්‍රාර්‍ථනා කළ මැනවැ”යි කී කල්හි එ බසට රජපා බුදුන්ගේ චරියාපදාන සිහිකොට, “කුමක් කියව් ද? මඞ්ගල නම් බුදුන් බෝසත් කල දන් දුන් දරු දෙදෙනා කරදළ නම් යකෙක් දෙක පොළයෙන් ලේ වගුරුව වගුරුවා මහහුණකිළිලක් සේ මුරු මුරුගා බිඳ කන කල ඒ බෝසතාණෝ ද දරුදුක් ඉවසා බුදුබැව්හි ම පෙම් බැන්දෝල.

තවද වෙසතුරු මහබෝසතාණෝ ජූජක නම් බමුණාට ජාලිය කුමාරයා-කෘෂ්ණජිනා නම් දරු දෙදෙනා දන් දී ඔහු දරුවන් බැඳගෙන මර මරා ගෙනයන වේලෙහි දෙදරුවන් පිටින් වැගිරෙන ලේ හා, ඇසින් වැගිරෙන කඳුලුධාරා දැක ලය වාවා ගෙන බුදුබැව් පත පතා උන්නාහු ල. ඉතා දුෂ්කරය, ඉතා භාරය; බෝසත්වරු එසේ එසේ ම යාචකයන්ට ප්‍රිය දරුවන් බැඳ දුන් වැල් පමණක් රැස්කරතොත් මහමෙර පරයා සිටි ල. සෙසු පාරමිතාවනුත් එසේ මල ඇස්, මස්, ලේ දන්දීමෙහි ද, භාර්‍ය්‍යාවන් දන් දීමෙහි ද, සරු නැත්තෙමි. ඒ මට ඉතාම පිළිවන. පුත්‍රදානය කළ ඉතා බැරි ම ය. මම මාගේ ප්‍රිය පුත්‍රයන් පස් දෙනාට පස් මහරටක් හා පස් මහ පිරිසක් දී ඒ ඒ තන්හි වස්වනුයෙමි. ශ්‍රී සම්පත් විඳුනා වූ ඔවුන් කිසියම් කලෙක පවා නොදැක, පෙම් රඳවා ගත නොහෙනුයෙමි කෙසේ දරු දන්දී ගතහෙම් ද? එසේ හෙයින් මා බුදුබැව් නො පතන්නෙම්” යයි කීවා වූ පුත්‍රස්නේහ වචන එම දෙවප්‍රතිරාජ නම් අගමැතියාණන් අතින් අසා ඔවුන් විසින් ම නොයෙක් වාරයෙහි “අප රජහට බොධිසත්‍ව පාරමිතායෙන් යෙදුණා වූ බණක් වදාළ මැනවැ”යි ආරාධිත ව රජු කෙරෙහි උපන් මහ කුළුණු ඇති ව‍:-

“ගිහීන’මුප කරොන්තානං - නිච්චමාමිස දානතො,

කරොථ ධම්මදානෙන - තෙසං පච්චූපකාරකං.”

යනු බුදුන් විසින් වදාළ හෙයිනු දු; ලෝක ශාසනෝපකාරයෙහි නියුක්ත වූ අප රජහු බොහෝ ධම්මකථා අසා ඤාණවන්ත ව වසතු දු, අපි දු බෝධිසත්‍වයන්ට සසරදුක් මදනියාවත්, සුව බොහෝ නියාවත්, අවශේෂ වූ සත්‍වයන්ට සසර සුව මදනියාවත්, දුක් බොහෝ නියාවත්, බෝධිසත්‍වවරයන්ට වඩා ආත්මප්‍රේම සුතප්‍රේම ඇතියවුන් නැතිනියාවත් සියලු ප්‍රාර්‍ථනාවෙන් බුදුවෙම්වා යි පතන්නා වූ ප්‍රාර්‍ථනාවට වඩා උතුම් වූ ප්‍රාර්‍ථනාවක් නැති නියාවත්. බෝධිසත්‍වවරයන් සසර පාරමිතා සුවයෙන් සුවවිඳ ම බුදුවන නියාවත්, කිසියම් ධර්‍ම ව්‍යාඛ්‍යාන කථාවකින් රජහට බෝධිසත්‍ව පාරමිතාවෙහි විභාග හඟවන පිණිස හා සිංහල භාෂාව දන්නා සත්පුරුෂ ජනයන්ගේ බොහෝ කල් ශ්‍රද්ධාබුද්ධි ජනනය කරවා ත්‍රිවිධ වූ සම්පත් සාදාදෙන පිණිස හා නවවන බුද්ධෝත්පාදක්‍ෂණ සම්පත්ති ලද්දා වූ මේ මාගේ ද අභිමත වූ ප්‍රාර්‍ථනාව සාදාගන්නා පිණිස හා, නවඅරහාදී බුදුගුණයෙහි පළමු වන ‘අරහං’ යන අකුරු තුනෙන් කීවා වූ අර්හත් ගුණය ගෙන පූජාවලී නම් ධම්ම ව්‍යාඛ්‍යාන කථාවෙකින් අප මහා ගෞතම බුදුන්ගේ ගුණෙක දේශයක් වර්‍ණනා කරම්හ. සත්පුරුෂයන් විසින් සාවදාන ව ඇසියයුතු.

ආරකත්තා භතත්තා ච - කිලෙසාරින සො මුනි

හත සංසාර චක්කාරො - පච්චයාදීන චාරහො,

න රහො කරොති පාපානි - අරහං තෙන පවුච්චතී’යි

යන මේ ගයින් දැක් වූ පස්මහා අර්‍ථය වෙන වෙන වර්‍ණනා කරත්:- මෙසේ ම පස්මහ පොතකින් මිස එක් පොතකින් උගහට වන බැවින් “අර්‍හ පූජායං” යන ධාතුහු කෙරෙන් සිද්ධ පූජාර්‍ථය පමණක් ගෙන මේ පූජාවලියෙහි වර්‍ණනා කරම්හ.

ආමිස ප්‍රතිපත්ති පූජා විස්තරය

අප බුදුහු සනරාමර ලෝකයා විසින් කරන ලද නොයෙක් පූජාවට අග්‍රදක්‍ෂිණෙය වන බැවින් අර්හත් නම් වන සේක. එහි ආමිස පූජා ය, ප්‍රතිපත්ති පූජා ය යි බුදුන් ලබන පූජා දෙකක් වන්නාහ. ඔවුන් අතුරෙන් ආමිස පූජා නම් ශ්‍රද්ධා මූලික වෙයි. ප්‍රතිපත්ති පූජා නම් ගුණ මූලික වෙයි. එහි ප්‍රතිපත්ති පූජාවෝ උතුම් වූ පූජා වෙති. යම් පුද්ගල කෙනෙක් ප්‍රතිවේධ මූලික ව වෙසෙත් නම් ඔහු ද බුදුන් පුදන්නාහු නම් වෙති. යමෙක් ප්‍රතිපත්ති මූලික ව වෙසෙත් නම් ඔහු ද බුදුන් පුදන්නාහු නම් වෙති. යමෙක් පර්‍ය්‍යාප්ති මූලික ව වෙසෙත් නම් ඔහු ද බුදුන් පුදන්නාහු නම් වෙති. ඔවුන් තුන්දෙනා විසින් ම කළමනා වූ ඒකාන්ත පූජාවෝ සත්දෙනෙක් වන්නාහ.

ඔහු කවරහු? යත්;

බුදුන් ගුණ ගෙන ශාසනගත ව වසන යම් භික්‍ෂුකෙනෙක් කෙහෙලොමින් බඳ සිරියක් යට සයනය කරන්නක්හු මෙන්, හැම වේලෙහි පාපයෙහි භය ඇති ව වෙසෙද්ද, යම් භික්‍ෂුකෙනෙක් දුෂ්ප්‍රතිපත්තියෙන් කෙලෙසුම නැති ව, අනවතප්ත ජලය සේ නිර්‍මලව, අනින්‍දිත ව, ශීලය රක්‍ෂා කෙරෙද්ද; යම් භික්‍ෂුකෙනෙක් පිනිදියෙන් සන්තුෂ්ට වන රාජභාසනයන් සේ ත්‍රිවිධ වූ සන්තෝෂයෙන් යෙදී වෙසෙද් ද, යම් භික්‍ෂු කෙනෙක් පාංශු ප්‍රච්ඡන්නවූ ජාතිරංග මාණික්‍ය රත්නයක් සේ ගණසඞ්ගනිකායෙන් දුරුව විවෙකාභිරාම ව වෙසෙද්ද, යම් භික්‍ෂුකෙනෙක් ඇත්ගොදුරු වටු ගොදුරෙහි සම වූ වීර්‍ය්‍ය ඇති සිංහරාජයන් සේ ලද දෙයකින් යැපී අල්පේච්ඡ ව වාසය කෙරෙද්ද, යම් භික්‍ෂුකෙනෙක් නිධාන රක්‍ෂා කරන්නා වූ දිව්‍ය නාගරාජයන් සේ සද්ධර්‍ම නමැති නිධානය තම තමන් ලෙන් දරා වාසය කෙරෙද්ද, යම් භික්‍ෂුකෙනෙක් ප්‍රිය පුත්‍රයන්ට ප්‍රේමයෙන් අවවාද කරන මවුපියන් සේ තම තමන් උගත්තා වූ ධර්‍මයෙන් තුමූ ම තමන්ට ද අනුන්ට ද අවවාද කොට ස්වසන්තාන පරසන්තාන දමනයෙන් යෙදී වෙසෙත් ද, මෙසේ සප්තප්‍රකාර භික්‍ෂූන් විසින් කරන ලද ප්‍රතිපත්ති පූජාවෝ ම අසා ධාරණ පූජාවෝ නම් වෙති.

වදාළේ මැනෝ:-

“යෙ වජ්ජභීරූ පරිසුද්ධ සීලා

සන්තොසසාරුප්ප විවෙකරාමා

අප්පිච්ඡතා ධම්මධරානුයොගී

තෙ ලොකනාථං අභිපූජයන්ති”

තව ද ඔවුන් සත්දෙනා අතුරෙන් යම් අනුයෝගී ආචාරී පුද්ගල කෙනෙක් පළමු ව තුමූ තමන් සද්ධර්‍මයෙහි හික්මවාගත නොහී අනුන් සද්ධර්‍මයෙන් හික්මවා ඇවිදිනාහු නම්, එසේ වූ ආචාර්‍ය්‍යවරයන්ගේ සද්ධර්‍මානුශාසනා සත්‍වයෝ ආදරයෙන් නොපිළිගන්නාහු ය. ඒ සද්ධර්‍ම ය ආදරයෙන් නො පිළිගැන්ම හෙතු කොට ගෙන සත්‍වයන්ට මහත් වූ ඵලදායක නො වන්නේය යම් ආචාර්‍ය්‍ය පුද්ගල කෙනෙක් පළමුව තුමූ තමන් සද්ධර්‍මයෙහි හික්මවා තමන් පිහිටියා වූ සද්ධර්‍මයෙහි අනුන් පිහිටුවා හික්මවා ඇවිදිනාහු නම් එසේ වූ ආචාර්‍ය්‍යවරයන්ගේ සද්ධර්‍මානුශාසනාව සත්‍වයෝ ඉතා මහත් වූ ආදරයෙන් ම පිළිගන්නාහු ය. ඒ සද්ධර්‍මය ආදරයෙන් ම පිළිගැන්ම හේතුකොටගෙන සත්‍වයන්ට මහත්ඵල මහානිසංස වෙහි. මේ කාරණයෙන් යමෙක් තුමුූ පළමුව සද්ධර්‍මයෙහි පිහිටා අනුන් සද්ධර්‍මයෙහි පිහිටුවන්නාහු නම් ඔවුන් කරන ප්‍රතිපත්ති පූජාව ඉනු දු උතුම් පූජායයි දතයුතු.

වදාළේ මැනෝ:-

“අත්තානමෙව පඨමං - පතිරූපෙ නිවෙසයෙ,

අථඤ්ඤමනුසාසෙය්‍ය - න කිලිස්සෙය්‍ය පණ්ඩිතො”

තව ද ඒ ත්‍රිවිධ වූ සප්තප්‍රකාරකොට දැක්වූ ප්‍රතිපත්ති පූජාවෝ ම ධුතගුණ වශයෙන් තෙළෙස්දෙනෙක් වන්නාහ. විදර්‍ශනා වශයෙන් අටළොස්දෙනෙක් වන්නාහ. ආරම්මණ වශයෙන් අටතිස්දෙනෙක් වන්නාහ. කර්‍මස්ථාන වශයෙන් සතළිස් දෙනෙක් වන්නාහ. ආර්‍ය්‍ය පුද්ගල වශයෙන් අෂ්ටොත්තර ශත ප්‍රමාණහ. ශික්‍ෂාපද වශයෙන් දෙසිය පනස්දෙනෙක් පමණ වන්නාහ. පර්‍ය්‍යාප්ති වශයෙන් සූවාසූදහසක් පමණ වන්නාහ. ශීල වශයෙන් කෝටිගණන් වන්නාහ. නය වශයෙන් අසඞ්ඛ්‍යගණන් වන්නාහ. මේ ප්‍රතිපත්ති පූජා හ යි දතයුතු.

අවශේෂ වූ සත්‍වයන් ප්‍රත්‍යය දානයෙන් කරන ලද සත්කාරයෝ ආමිසපූජා නම් වෙත්. අප බුදුන් ලද ආමිස පූජාවෝ වනාහි දීපඞ්කර ප්‍රණිධියෙහි දී ලද පළමුවන අභිනීහාර මගුල් පූජා ය, හැම බුදුන් ගෙන් නොවරදවා ලද විවරණ මගුල් පූජා ය, පාරමිතා බෙලෙන් ලද බෝධිසම්භාර පූජා ය, සංසාරගත ව ලද පළමුවන ජාතිභෙද පූජා ය, එසේ ම ලද දෙවන වූ මහා ජාතිභෙද පූජා ය, පඤ්චමහා විලොකනාවසානයෙහි දී ලද සාධුනාද පූජා ය, පශ්චිමභවයෙහි දී ලද ප්‍රතිසන්‍ධිකාල පූජා ය, ලුම්බිණී වනොද්‍යානයෙහි දී ලද ප්‍රසවමඞ්ගල පූජා ය, පැවිදි වූ දා ලද මහබිනික්මන් පූජා ය, බුදු වූ දා ලද බෝධි මණ්ඩල පූජා ය, සද්ධර්‍මාරාධනයෙහි දී මහා බ්‍රහ්මයාගෙන් ලද ආයාචන පූජා ය, පළමුවන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහි දී ලද ඉසිපතනාරාම පූජා ය, රජගහනුවර දී බිම්සර රජහුගෙන් ලද වෙළුවනාරාම පූජා ය, කිඹුල්වත් නුවර බන්‍ධුසමාගමයෙහි දී ලද නිග්‍රොධාරාම පූජා ය, එනුවර දී ලද භික්‍ෂාටනාදී අද්භූත මහා පූජා ය, සැවැත් නුවර දී අනේපිඩු මහාසිටාණන්ගෙන් ලද ජෙතවනාරාම පූජා ය, විශාඛා උපාසිකාවන්ගෙන් ලද පූර්‍වාරාම පූජා ය, එම වෙහෙර දී සුමන සාමෙණ්රාදී හෙරණ මහණුන්ගෙන් ලද භික්‍ෂු ප්‍රතිපත්ති පූජා ය, එම නුවර දී කොසොල් මහරජහුගෙන් ලද අසදෘශ මහා දාන පූජා ය, විශාලාමහනුවර දී ලිච්ඡවී රජුන්ගෙන් ලද ගඞ්ගාරොහණ පූජා ය, ඉන්‍ද්‍රශාල ගුහාවෙහි දී සක්දෙව්රජුගෙන් ලද දිව්‍යරාජ්‍ය පූජා ය, සැවැත් නුවර ගණ්ඩම්බ නම් වෘක්‍ෂමූලයෙහි දී ලද යමකප්‍රාතිහාර්‍ය්‍ය පූජා ය, තව්තිසා භවනයෙහි දී අභිධර්‍ම දේශනාවෙහි සක්දෙව් රජහුගෙන් ලද පාණ්ඩුකම්බල ශෛලාසන පූජා ය, සකස්පුරදොර දී ලද දෙවොරොහණ පූජා ය, භික්‍ෂුණී ශාසන ප්‍රතිෂ්ටාවෙහි දී මහා ප්‍රජාපත්‍යාදීන්ගෙන් ලද භික්‍ෂුණී ප්‍රතිපත්ති පූජා ය, මහා ප්‍රජාපත්‍යාදී පන්සියයක් මෙහෙණින්ගේ ආදාහනයෙහි දී ලද අනූන වූ ශ්‍රාවකගණ පූජා ය, ජීවකයන්ගෙන් ලද ජීවකාරාම පූජා ය, දෙවිදත්හු නිසා ලද සමමෙත් පූජා ය, අජාසත් රජහුගෙන් ලද ජීවිතාදි පූජා ය, යසොධරා මහාස්ථවිරීන්ගෙන් ලද ප්‍රතිපත්ති පූජා ය, ධර්‍මාශෝකාදී දඹදිව රජුන්ගෙන් ලද උද්දෙසික පූජා ය, මිහිඳුමාහිමියන් ආදී මහා ස්ථවිරයන් ශ්‍රී ලඞ්කාද්වීපයෙහි සසුන් පිහිටුවා කළ උත්තම ප්‍රතිපත්ති පූජා ය, මෙම ලඞ්කාද්වීපයෙහි වූ චූලවංශ-මහාවංශයෙහි මහපින්වත් රජුන් විසින් භොග පමණින් කළ අසඞ්ඛ්‍යගණන් උද්දේසික පූජා හ යි

මෙ තැන්හි ම විසින් දක්වන ලද මෙසේ මෙසේ වූ නොයෙක් පූජා ලත් හෙයිනුත් නො දක්වන ලද අප්‍රමාණ පූජා ලත් හෙයිනුත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වනසේක.

එසේ හෙයින් කියන ලදි:-

“පූජාවිසෙසං සහපච්චයෙහි,

යස්මා අයං අරහති ලොකනාථො;

අත්‍ථානු’රූපං අරහන්ති ලොකෙ,

තස්මා ජිනො අරහති නාම මෙතං” යි.

මෙතෙකින් අටමග ලෝ වැඩ පිණිස කරන ලද අර්හත් ගුණ වර්‍ණනා සංඛ්‍යාත මේ පූජාවලියෙහි අප බුදුන් ලද

පූජා සංග්‍රහ කථා නම් වූ පළමුවන පරිච්ඡේදය නිමි.

2. අභිනීහාර මඟුල් පූජා

මෙහි අප බුදුන් දීපඞ්කර ප්‍රණිධියෙහි දී ලද පළමුවන අභිනීහාර මඟුල් පූජා නම් කවරහු? යත්;

අටමහා ලෝවැඩ

මාගධිභාෂාවෙන් සංක්‍ෂෙපයෙන් සැඟවී තිබූ සද්ධර්‍මය ස්ව භාෂාවෙන් අර්‍ථකථා ව්‍යාඛ්‍යාන ඉපදවීමෙහි ලෝවැඩ අටෙක් වන්නේ ය. ඒ කෙසේ ද? යත්; ධර්‍මයන් අටදෙනෙකුගෙන් අලඞ්කාර වූ ලෝකය සේ අෂ්ටාඞ්ගශීලයෙන් අලඞ්කෘත වූ පෞෂථය සේ අෂ්ටාඞ්ගමාර්‍ගයෙන් අලංකෘත වූ නිර්‍වාණය සේ අෂ්ටගරු ධර්‍මයෙන් අලඞ්කෘත වූ ශ්‍රාවිකාවන් සේ අෂ්ටමහා දිශාන්තරයෙකින් අලඞ්කෘත වූ චක්‍රවාටය සේ අෂ්ටාඞ්ගික ලක්‍ෂණයෙන් අලඞ්කෘත වූ දූතයන් සේ අෂ්ට ප්‍රකාර වූ රසයකින් අලඞ්කෘත වූ පානීය වර්‍ගයන් සේ අෂ්ටප්‍රකාරවරයෙකින් අලඞ්කෘත වූ බුද්ධොපස්ථානයන් සේ ස්වභාෂා ලිඛිත වූ ධර්‍ම ව්‍යාඛ්‍යාන කථාවෝ ද අටමහලෝවැඩ කරන්නාහු ය යි දතයුතු යි.

කෙසේ වූ ලෝවැඩ අටෙක් ද? යත්;

නො එක් රාජ්‍ය ක්‍රියාවෙහි යෙදී ශ්‍රී සම්පත්තීන් මත් ව අවකාශයක් නො ලබන්නා වූ රජදරුවන්ට බුදුන්ගේ මහමුහුද සේ අතිගම්භීර වූ, ආකාශය සේ අප්‍රමාණ වූ ධර්‍මය දැක බුදුන්ගේ මහිම දැන්ම උගහට වන බැවින් ලද ලද අවකාශයෙහි රහොගත ව හිඳ මෙසේ මෙසේ වූ ස්වභාෂා ලිඛිත බුදුගුණ කථා ගෙන්වා තමන් තමන් අතුරේ බලා බුදුන්ගේ ආගමයෙහි ඒ ඒ තන්හි එන විසිතුරු ධර්‍මකථා හා සූක්‍ෂ්ම නය හා සිතට නගා නුවණ වඩා ලෝකශාසන රක්‍ෂාවෙහි අප්‍රමාද ව ආත්මාර්‍ථ-පරාර්‍ථ සෑදීමෙන් රජුන්ට වන්නාවූ වැඩ පළමුවන ලෝවැඩ ය යි කියමි.

තව ද රාජමහේෂිකාදී ශ්‍රීවන්තවූවන්ගෙන් දොර නොහඳුනන තරම් උත්තම ස්ත්‍රීන් ඒ ඒ තන්හි සිත් සේ ඇවිද බණ අස අසා ද මහබෝ වැඳ පින් රැස්කොට නුවණ වඩා මෙලොව පරලොව දැන ගැන් ම ඉතා උගහට වනහෙයිනුත් නුවණැතියන් හා සිතූ සිතූ විට ධර්‍මාන්විත කථාකොට දැනුම් එවා ගැන්ම බැරිවන හෙයිනුත් එසේ වූ කුල ස්ත්‍රීන් අක්‍ෂර මාත්‍රාවක් දැන මෙබඳු බුදුගුණ කථා ලිඛිත පුස්තකයන් ගෙන්වා තමන් තමන් අතුරෙහි ම සිත් සේ බලා බුදුගුණ දැන නුවණ වඩාගෙන දානාදීවූ පින්කම් කිරීමෙන් එසේ එසේ වූ ස්ත්‍රී ලෝකයාට වන්නා වූ මෙසේ මෙසේ වූ නිරාකුලාභිවෘද්ධිය ම දෙවන ලෝවැඩ යයි කියමි.

තව ද යුවරජ මහඇමතියන් ආදී ශ්‍රීමත් වූ ප්‍රධානයන් හැම වේලෙහි ම රජදරුවන්ගේ නොඑක් කාර්‍ය්‍යයෙහි ව්‍යාපෘතවන බැවින් බුදුන් සද්ධර්‍මය සකසා දැන්ම ඔවුන්ට ද බරෙක් ම ය. එසේ හෙයින් කල්‍යාණ පෘථග්ජන වූ ඒ ශ්‍රීමත්හු ද ලද ලද අවකාශයෙක්හි මෙසේ මෙසේ වූ නොයෙක් බුදුගුණ කථා සිත් සේ බලා රාජනීති, ලෝකනීථි, ධර්‍මනීති, ලෝකව්‍යාවහාර, ධර්‍මව්‍යවහාර, දේශව්‍යවහාර, මෙලෝ-පරලෝ විශේෂයෙන් දැන රජුන්ට ද ලොවට ද වැඩම දී අමාර්‍ගයෙහි නොගොස් ආත්මාර්‍ථ-පරාර්‍ථ සාදා තමන් ලද සැපත පරලෝ නිධාන කෙරෙමින් වැඩ සාදා ගැන්ම තුන්වන ලෝවැඩ යයි කියමි.

තව ද ශාසනාරක්‍ෂාවෙහි අප්‍රමාද වූ මහාස්ථවිරවරයන් ගරු වූ ස්ථානාන්තර ලදින් වසන හෙයිනුත්, ශාසනයට ගරු වූ ස්ථානාන්තර ලද හෙයිනුත්, ඔවුන් කෙරෙහි මහත් වූ ආදර බහුමාන කළමනා හෙයිනුත්, නොයෙක් නය දැන දහම සිත තබා හිඳිනා ධර්‍මකථිකයෝ ඔවුන්ට බණ කීමෙහි උපේක්‍ෂා වන්නාහ. එහෙයින් එම මහ පොළොව සේ නුවණැති මහාස්ථවිරයන්ට ද බණ ඇසීම් සුලභ නො වෙයි. ඔවුනු ද ලද ලද අවකාශයෙහි මෙබඳු වූ ධර්‍ම ව්‍යාඛාන කථා ගෙන්වා සිත් සේ බලා තම තමන් දත් ආගමයෙහි ඒ ඒ තන්හි එන විසිතුරු වූ ධර්‍මකථා හා අසාධාරණ වූ ඔපම්මකථා හා පූර්‍වකථිකයන්ගේ ව්‍යවහාර වාක්ප්‍රබන්‍ධ අසා ඒ මහාස්ථවිරයන්ගේ ද ප්‍රඥාචන්‍ද්‍රයන් නිර්‍මලවනු සේ සතරවන වූ ලෝවැඩ ය යි කියමි.

තව ද අති ශ්‍රද්ධාවෙන් සසුන් වැද මහණ ව අක්‍ෂරාභ්‍යාසය කොට ගත නොහී විදර්‍ශනාවෙහි යෙදී ශීලවිසුද්ධියෙන් යෙදී වසන්නා වූ බොහෝ ශ්‍රද්ධා චරිත ධර්‍මලෝභී සබ්‍රහ්මචාරීන් මෙසේ මෙසේ වූ අර්‍ථ කථාවන් සිත් සේ බලා ධර්‍මවිභාගය, ශීලවිභාගය, දැන ප්‍රඥා වඩා ප්‍රතිපත්ති ප්‍රතිවේධයට ආදර උපදවා ශ්‍රද්ධා නමැති ප්‍රදීපයන් බබුලුවා ගැන්ම පස්වන ලෝවැඩ ය යි කියමි.

තව ද නො එක් සූත්‍රාන්තයන් ඉගෙන බණ කීමෙහි දක්‍ෂ වූ මහ පඬිවරයන් පූර්‍වකථිකයන්ගේ වාක්ප්‍රබන්‍ධ බලා නොයෙක් අර්‍ථ ව්‍යාඛ්‍යාන ඉපදවීමට මුඛ දැක, පූර්‍වකථිකයන් කෙරෙහි අතිප්‍රසන්න ව රන්මල්හි සුවඳ කවන්නා සේ ප්‍රභාභිවෘද්ධියකොට ගෙන තම තමන්ගේ වාක්පථ නමැති ගඞ්ගාවන් නිර්‍මල කරනුයේ සවන ලෝවැඩ ය යි කියමි.

තව ද කල්‍යාණ පෘථග්ජන වූ අක්‍ෂරාභ්‍යාසය ඇති සත් පුරුෂයන් සාවද්‍යවූ කර්‍මාන්තයන් හැර නිරවද්‍ය වූ ධර්‍මයෙන් ආත්මාර්‍ථ-පරාර්‍ථ සාදා ගනුම්හ යි සිතා නිරවද්‍ය ජීවිකායෙන් ඒ ඒ තන්හි ධර්‍ම දානය දී ලෝවැඩ කරනුයේ සත්වන ලෝවැඩ ය යි කියමි.

තව ද නො එක් ප්‍රත්‍යන්තවල සත්පුරුෂ දර්‍ශනයක් නොලබන්නා වූ ශ්‍රද්ධාවන්ත වූ ස්ත්‍රී පුරුෂයන්ට බණ අසා මෙලෝ පරලෝ දැන් ම ඉතා දුර්ලභ වන බැවින් ඔවුනුදු මේ බඳු වූ බුදු ගුණ කථා ලිඛිත පුස්තකයන් සොයාගෙන අක්‍ෂරාභ්‍යාසය ඇතියවුන් ලවා කියවා අස් ස්වභාෂායෙන් නිර්‍ව්‍යාකුල වූ බුදුගුණ දැන මෙලෝ පරලෝ දෙකින් ගැලවෙනුයේ අටවන ලෝවැඩ ය යි කියමි.

මේ ආදීකාරණයෙන් ස්වභාෂා ලිඛිත වූ අර්‍ථකථායෙන් ඉපදවීමෙහි මෙසේ අටවැදෑරුම් වූ ලෝවැඩෙක් ඇතියේ ම ය. එසේ හෙයින් මෙහි මා විසින් කියන ලද පළමුවන අභිනීහාර මඟුල් පූජා කථාව ද සත් පුරුෂයන් විසින් සාවධාන ව ඇසිය යුතු.

සුමෙධ තාපස කථාව

අපගේ මේ මහාභද්‍රකල්පයට සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයෙකින් යට සාරමණ්ඩ නම් කල්පයෙක් විය. එ කප තණ්හඞ්කරය, මෙධඞ්කරය, සරණඞ්කරය, දීපඞ්කරය යි බුද්ධදිවාකරයෝ සතරදෙනෙක් පහළ වූහ. එයින් පසු ව බුදු වූ තුන්ලොවට ඛෙමඞ්කර වූ, මොහඳුරට දිවාකර වූ, මුළු සත්නට ශාන්තිකර වූ, පින්වත්හට ශිවඞ්කර වූ, මරුසෙනඟට භයඞ්කර වූ, “දීපඞ්කර” නම් සර්‍වඥරාජයානෝ:- හස්ති ශබ්දය, අශ්වශබ්දය, රථ ශබ්දය, වීණා ශබ්දය, මෘදඞ්ග ශබ්දය, සඞ්ඛ ශබ්දය, සම්ම ශබ්දය, තාල ශබ්දය, ඛාද්‍ය ශබ්දය, භොජ්‍ය ශබ්දය, යන දශවිධ වූ ශබ්ද ඝෝෂාවෙන් පිරුණා වූ “රම්මවතී” නම් පුරයෙහි ස්වාමිය, ඇමතිය, රටය, ක්‍ෂෙම ස්ථානය, කොසය, බලසෙනගය, සුහෘදය යන සප්තාඞ්ගයෙන් සම්පූර්‍ණ වූ රාජ්‍යශ්‍රී විඳින්නා වූ “සුදෙව්” නම් රජුහුගේ කුලය, ගුණය, රූපය යන මේ ගුණත්‍රයෙන් උතුම් වූ “සුමෙධා” නම් අගබිසවුන් කුස හැම බුදුන්ගේ ප්‍රතිසන්‍ධික්‍රමයෙන් පලක් බැඳ නාභිමණ්ඩලය බලා දෑවාන කරඬුවෙක වඩාලූ රන්පිළිමයක් සේ සියලු සතුන්ට පෙණි පෙණී දවස දවස මෑනියන්ගේ පෙම් වඩ වඩා දසමසක් වාසයකොට දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්ම සේනාව මධ්‍යයෙහි මේඝමුඛයෙන් නිකුත් පුන්සඳ සේ සුද්ධාවාසයෙහි වසන අරහන්ත බ්‍රහ්මරාජයා පෑ රන් දැලට බිහි ව එතැන් පටන් පෙරඩමස සඳ සේ වැඩී, දෙවඟනන් බඳු වරඟනන් තුන්ලක්‍ෂයක් පිරිවරා දසදහසක් හවුරුදු රාජ්‍යශ්‍රී පුරා රන්පියුමක් වන් මුවපියුමක් ඇති “පියුම්” නම් බිසවුන් තමන් හා එක්වැනි වූ “උසභක්ඛන්‍ධ” නම් පුත්රුවන වැදූ දා සුවාසූදහසක් ඇතුන් හා සමග මගුල් ඇත් යහන් නැගී උයන් කෙළියට වැඩ මගුල්සල්වට වැඩ හිඳ මඟුල්කඩුවෙන් මුහුලස කපා, ආකාශයට දමා, බ්‍රහ්මයා පිළිගැන්වූ කල්පොත්පත්තියෙහි දී තමන් නමට මැවී තිබූ, අටපිරිකර පිළිගෙන, සියක් ලක්‍ෂයක් ඇමතියන් හා සමග එම දා ම පැවිජි ව දසමසක් දුෂ්කරක්‍රියා පුරා හැම බුදුන් බුදුවන්නා වූ වෙසඟමැදි පොහෝදා නුවරෙක ජනයන් දෙවපූජාවකට පිස, තමන් දැක පිළිගැන්වූ මී කිරිපිඬු සහ පිරිවරින් වළඳා එම දා සවස තෙපනස් රියන් තණ පළඟක් නැගී, සියක් රියන් කඳ ඇති, සියක්රියන් ශාඛා ඇති, දෙසියයක් රියන් උස ඇති, තුන්සියයක් රියන් ශාඛාමණ්ඩල ඇති මුල පටන් අග දක්වා මලින් ගැවසී සිටියා වූ, පුළිලසිරි බෝධියට පිට දී වැඩ හිඳ, බුදු වීය නො දෙමි” යි දිවූ වසවත් මරසෙනග ශීල තේජසින් භයගන්වා බිඳ පලවා සව්නේ ගෙවා බුදු ව.

සසුන් නමැති මහා නිධානයෙහි දිලියෙන අග මිණිරුවන් සඟළක් බඳු වූ “සුමඞ්ගලය” “තිස්සය” යන අගසවු දෙදෙනා සමග මහ සවුවන් පිරිවරා ගුණගත වූ “සාගත” නම් මහතෙර කෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ මෑණියන්ගේ නියෝගයෙන් තමන් කරා දායාද සොයා ආ දා මහණ කරවා ගත්තා වූ තමන්වහන්සේගේ “උසභක්ඛන්‍ධ” නම් වූ පුත් මහතෙරුන් ආදී වූ සාරලක්‍ෂයක් ක්‍ෂීණාශ්‍රව ශ්‍රාවක දරුගණයා පිරිවරා හැමබුදුන්ගේ චාරිත්‍ර වූ සමත්‍රිංශත් පාරමිතා බුද්ධකාරකධර්‍මයෙන් යෙදී, නාරක කුල වසන නාරද නම් යක්‍ෂරාජයා ආදී වූ බොහෝසතුන් දමා අමාමහ නිවන් ලා, රන්මෙරක් වැනි වූ අසූරියන් බුද්ධකායකින් ලක්‍ෂයක් හවුරුද්දට ආයුඃශ්‍රී ඇතිව මුළුලොවට නැගූ පහනක් සේ, මුළු ලොවට ලූ තිලකයක් සේ, මුළුලොවට මැවූ මුදුන් මල්කඩක් සේ, මුළුලොවට අඹා ලූ අමාපිඩක් සේ, දහම් වහරේ වස්වා සියලු සතුන් අමාමහනිවන් පුරයෙහි පුරවන සේක. එකල මාගේ ශ්‍රීමහා බෝධිසත්‍වයෝ පෙර බුදුන් කෙරෙන් ලබන ලද මනෝප්‍රණිධි ඇති ව භස්ම ප්‍රච්ඡන්න ජාතවේදයක් සේ සංසාරගත ව වසන දෑ අමරවතී නම් නුවර බමුණු මහසල් කුලයෙහි ඉපිද “සුමේධ” නම් පණ්ඩිත ව ප්‍රඥාබලයෙන් නිවන් ඇතැයි දැන නිර්‍වාණය සොයා සැපත් හැර වල්ගොස් දහම් පව්වෙහි සක්දෙව්රජහු මවා දුන් පන්සල් හා තවුස් පිරිකර දැක මහණවනු කැමති ව හින තුබූ සළුව බලා එහි නව ආදීනවයක් දැක්ක. කෙසේ වූ නව ආදී නවයෙක් ද? යත්:

මේ සලුව ඉතා මාහැඟි බව තපසට එක් පළිරොධයෙක, අනුන් නිසාම උපදවාගැන්ම එක් පළිරොධයෙක, වහා කිළිටිවීම් එක් පළිරොධයෙක, මාළු වී ම එක් පළිරොධයෙක, සිතුවිට නො ලැබීම එක් පළිරොධයෙක, තපසට අනඞ්ග වී ම එක් පළිරොධයෙක, සතුරන්ට සාධාරණ වීම එක් පළිරොධයෙක, ඇඳීමෙන් මද වඩනා බව එක් පළිරොධයෙක, ලෝබ වඩනා බව එක් පළිරොධයෙකැයි; මෙසේ නව ආදීනවයන් දැක, ඒ සාටකය හැර වාකචිරය බලා, එහි දොළොස් මහාවිපාකයක් දැක්ක.

කෙසේ වූ විපාකයක් ද? යත්; මෙ මාහැඟි නොවීම එක් ගුණයෙක, අනුන්ගෙන් උපදවා ගන්නා දෙයක් නො වීම එක් ගුණයෙක. ස්වහස්තයෙන් ම උපදවා ගත හැක්කේ එක් ගුණයෙක. වහා නොකෙලෙසෙන්නේ එක් ගුණයෙක. සොරුන් මීට ලොභ නොකරන්නේ එක් ගුණයෙක, ගිය ගිය තෙන සුලභ ව ලැබෙන්නේ එක් ගුණයෙක, තපසට ඉතා සරු බව එක් ගුණයෙක, අනුභව කරන්නාහට ක්ලේශයන් උත්සන්න නොවීම එක් ගුණයෙක, ඉතා අල්පේච්ඡ බව එක් ගුණයෙක, අනුභවයට ලඝුවීම එක් ගුණයෙක, අනුන්ගෙන් නො ඉල්වා ලැබීම එක් ගුණයෙක, නට කල ලෝභසිත් නොඉපදීම එක් ගුණයෙක, මෙසේ වූ දොළොස් මහාවිපාකයකින් යුක්ත වූ වාකචිරය මට මැනවැ යි ඒ සිවුර දරාගෙණ ඒ පන්සල්ගෙය බලා ඒ ගෙයි වාසයෙත් අටමහා පලිරොධයක් දැක්ක. කෙසේ වූ පළිරොධ ද? යත්;

මේ ගෙය බොහෝ දාරුසම්භාරයෙන් උපදවාගැන්ම පළමුවන පළිරොධ ය. දවස්පතා සුන්බුන් තැන්පත් කිරීම දෙවන පළිරොධ ය, ගෙයි වසන්නවුන් මහල්ලන් දුටුකළ නො වේලෙහි ත් වාසස්ථාන දීම තුන්වන පළිරොධය, නැවත දෙදෙනෙකු එක් ගෙයි වාසය කිරීම සතරවන පළිරොධ ය, ශීත උෂ්ණ පීඩා නැතිව ගෙයි වාසය කිරීමෙන් ශරීරය සුඛුමාලවීම පස්වන පළිරොධ ය, කාමවිතර්‍කාදියට නිලීයන ස්ථානය වීම සවන පලිරොධ ය, මේ මාගේ වාස යයි ලෝභ සිත් ඉපදවීම සත්වන පළිරොධ ය, මකුණන් උකුණන් සූනන් සිකනළුන් ආදී සතුන් හා එක ස්ථානයෙහි විසීම අටවන පළිරොධ ය යි මෙසේ පන්සල් වාසයෙහි අටමහා පළිරොධයක් දැක ඒ පර්‍ණශාලාවත් හැර පියා ඡායාසම්පන්න රුකක් මුලකට ගොස් මේ රුක්මුල නිත්‍යවාසය කෙරෙම් නම් දසමහා ඵාසුවෙක් ඇතැයි දැක්ක.

කෙසේ වූ ඵාසු ද? යත්;

අල්පව්‍යසනයෙන් සොයාගැන්ම පළමුවන විශේෂ ගුණ ය, ගිය ගිය තෙන රුක්මුල් සිත් සේ ලැබීම දෙවන වූ විශේෂ ගුණ ය, පුරාණ පත්‍රාදීන්ගේ විකාර දැක අනිත් ලකුණු ඉපදවීම තුන්වන වූ විශේෂ ගුණ ය, ලෝභ සිත් නො හටගැන්ම සතරවන වූ විශේෂ ගුණ ය, කාම විතර්‍කාදීන්ට අස්ථාන වීම පස්වන වූ විශේෂ ගුණය, අනුන් විසින් නො දෙවා ලැබීම සවන වූ විශේෂ ගුණ ය, දෙවියන් හා එක්තෙන විසීම සත්වන වූ විශේෂ ගුණය, සිසාරා පරික්‍ෂෙප ඇත මැනවැ යි උත්සාහ නො කිරීම අටවන වූ විශේෂ ගුණය, වාසයට සුවවීම නව වන වූ විශේෂ ගුණය, ගිය ගිය තෙන සුලභ හෙයින් නැවත අට මැනවැ යි රුක්මුල අපෙක්‍ෂා නැතිවීම දසවන වූ විශේෂ ගුණ ය යි මෙසේ වූ දසමහා විශේෂ ගුණයක් දැක, නොයෙක් රුක්මුල්හි හිඳ එක් වේලෙක භාවනාකොට එක් වේලෙක දිග සැටරියනක් හා පුළුල යෙලරියනක් වූ, දෙකෙළවර ආසන දෙකක් හා ආලම්බන ඵලකයෙන් යුක්ත වූ, බිම ඉන්‍ද්‍රනීලමානික්‍යමය වූ පස්නීවරණ දෝෂයන් දුරු වූ, ශක්‍රයා මැවූ ඒ සක්මණෙහි සක්මන්කොට, සත් දවසක් ඇතුළත පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවාගෙන එතැන් පටන් ගුණධර්‍ම පුරන්නා වූ බෝධිසත්‍වයෝ අභිඥා ගුණ අටක් විඳින්නාහු.

කෙසේ වූ සුව අටෙක් ද? යත්;

වස්තුකාම ක්ලේශකාම නමැති ගිහිබන්‍ධනයෙන් ගැලවීම පළමුවන සුවවිඳීම ය, නිරවද්‍ය වූ පිඬුසිඟා වැළඳීම දෙවන සුවවිඳීම ය, උපන් පසය ම වැළඳීම තුන්වන වූ සුවවිඳීම ය, දඩමුඩ ඉස්රන් මස්රන් එළවා ඇවිදිනා රාජපුරුෂයන්ගෙන් පීඩා නොවිඳීම සතර වන සුවවිඳීම ය, කෙත්වත් ගවමහිෂාදි ගෘහෝපකරණයෙහි කල්පනා නො කිරීම් පස්වන සුවවිඳීම ය, සොරුන් කෙරෙහි සැක නොකිරීම සවන සුවවිඳීම ය, රජ යුවරජ මහ ඇමතියන් දුටු කළ භය නැති ව හුනස්නෙන් නො නැගී හිඳීම සත්වන සුවවිඳීම ය, ගිය යම් දෙසෙක භය නැති ව සිත් සේ ඇවිදීම අටවන සුව විඳීම ය යි, මෙසේ පැවිදිවූවන් ලබන්නා වූ අටමහසුවයක් විඳ නෙසජ්ජික ය පුරා පවත්තඵලක නම් වූ සත්වන වූ උග්‍රතපස්කොට වාසයකරණ කල එක් දවසක් ආකාශයෙන් වඩනා වූ ඒ මාගේ සුමෙධතාපස නම් බෝධිසත්‍වයෝ, එදා සුදොවුන් වෙහෙර සිට රම්‍යවතී නම් නුවරට ඒ දීපඞ්කර නම් බුදුරජාණන් වඩනා මාර්‍ගය සරහන්නා වූ මිනිසුන් දැක විචාරා බුදුන් වඩනා මග යයි අසා ආකාශයෙන් බැස මට ද එක් අවකාශයක් දෙව යි ඉල්වා තමන්ගේ සෘද්ධි දැන, දුදුළු වූ කඳුරක් ජනයන් දීලූ කල, ඒ කඳුර බලා සිතන්නා වූ බෝධිසත්‍වයෝ ශක්‍රයාගේ සියයක් යොදුන් පරසතු ගස සලා, මල් ගෙනවුත් මේ වළ පුරාලම් නම් ඒ මාගේ ඇගින් ලෝමයටත් ආයාශයෙක් නැත. තව ද දසදහසක් යොදුන් අසුර භවනයට දිව අසුරයන්ගේ පලුලු ගසින් මල් ගෙනවුත් මෙතන තනාලම් නම් ඒ මට දැන් පැයකින් පිළිවන., තව ද, සාගරයෙහි දිය දෙබේකොට රුවන්වැලි උකාගෙණවුත් සුදොවුන් වෙහෙර සිට රඹගම් නුවර දක්වා රුවන්වැල්ලෙන් තනාලම් නම් මාගේ අසුරුසනක් කලින් නිමවන සෘද්ධිමය, මාගේ මේ අඳුන් දිවිසම මහත්කොට මවාලා ඇද සෑදූ බෙරයක් සේ ම තනාලම් නම් ඇසිල්ලෙකින් පිළිවන. ආනුභාවයෙන් කරන්නා වූ සත්කාර හැර මාගේ ශරීරයෙන් ඩා සොල්වා බුදුන්ට අද කායවෙය්‍යාවතක් කෙරෙමි යි සිතා ලා උදැල්ලක් හා කූඩයක් ගෙන, උස්තැන් කපා වළතැන් පුරා, සතුටු සතුටුව මග තනන දෑ ය.

ඒ තනා නොනිමන තුරු සාරලක්‍ෂයක් රහතන් පිරිවරා සවණක් රැසින් දිලිහි දිලිහී රුවන්මෙරක් සේ අවුදින් වැඩසිටි බුදුන් දැක, පස්වනක් ප්‍රීතීන් පිනා, අද ආශ්චර්‍ය්‍යවත් වූ බුදුන්ට ආශ්චර්‍ය්‍යවත් වූ මාගේ ප්‍රිය ජීවිතය පූජාකෙරෙමි යි සිතා මතු ලෝවැඩ පත පතා ඒ කලල් වසා, අඳුන් දිවිසම අතුට බුදුන් දිසාවට සිරස ලා මතු මා බුදුවන දවස් වසවත් මරහු මැදයේ සොඳුර! තෝ මට දෙස් කියා! යි මීකත වැළඳ සිඹ සනහන්නකු සේ, මීතෙලෙහි බඩින් බැස හෙව බුදුහු අද මා හෙයක් කොට වඩිත්වා, මම ද මතු ලොව්තුරා බුදු ව මේ අප බුදුන් සේ ම සියලු සතුන් සංසාරසාගරයෙන් ගලවමි යි ප්‍රාර්‍ථනා කළ දෑ ය. එ කල බුදුහු දිවි දී වැදහොත් බෝසතුන් දැක මේ මනුෂ්‍යයෙක, ඉනුත් පුරුෂයෙක, හේතුසම්පත් ඇතියේ ය, බුදුන් දිට තපස්වී ය, ධ්‍යානලාභී ය, අධිකාරත්‍වයෙන් යෙදින, බුදුබැව් පතා හොත්තේ ය. එසේ හෙයින් පළමුවන අභිනීහාරයට සුදුසු වූ මේ ධර්‍මයෝ අට දෙන ම දැන් මොහු කෙරේ ම විද්‍යමානයහ. මේ වීර පුරුධයා කවර කලෙක බුදුවේ දෝ (හෝ) යි එ කප බලා, දෙවන කප බලා, සියක් කප් බලා, දහසක් කප් බලා, ලක්‍ෂයක් කප් බලා, කෝටියක් කප් බලා, අසඞ්ඛ්‍යයක් කප් බලා, මෙසේ ක්‍රමයෙන් බලන්නා වූ බුදුහු සාරාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයකින් මතු ගෞතම නම් බුදුවේ යයි දැක, පස්සෙහි වඩනා සාරලක්‍ෂයක් රහතුන් බලා තමන් වහන්සේගේ මුඛ නමැති පද්මයෙන් සුවඳ විහිදුවා:

“පස්සථ ඉමං තාපසං

ජටිලං උග්ගතාපනං,

අපරිමෙය්‍යෙ ඉතො කප්පෙ

අයං බුද්ධො භවිස්සතී” යි.

යනාදීන් වදාරා මහණෙනි! මේ මට දිවිපුදාහොත් පුරුෂයා සාරාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයකින් මතු ගෞතම නම් බුදු වෙයි. කිඹුල්වත් නම් පුරයෙක උපදී ශුද්ධෝදන නම් රාජොත්තමයෙක් පිය වෙයි. මහාමායා නම් දේවියක් මව් වෙයි. සතළිස් දහසක් පුරස්ත්‍රීන් පිරිවරා එකුන්තිස් හවුරුද්දක් රජසිරි විඳ, යසෝධරා නම් අග මෙහෙසි බිසවක, රාහුල නම් තමා හා එක්වැනි පුතකු වැදූ දා අශ්වයානයෙකින් මහබිනික්මන් කෙරෙයි. අනෝමා නම් ගංතෙර දී මුහුලස කපා අහසට දමා මහබඹුන් දුන් සිවුරු ධරා සාවුරුද්දක් දුෂ්කරක්‍රියා කෙරෙයි, සුජාතා නම් සිටුදුවක් දුන් කිරිපිඬු වළදා එම දා සවස තුදුස්රියන් විදුර’සුන් නැගී ඇසතු ගසක් පිටලා හිඳ මරසෙන් බිඳ බුදු ව එකෙණෙහි මාසේ ම අනන්තාපරිමාන සක්වළ සවණක් රස් විහිදුව යි. එකල මොවුන්ට කොලිත-උපතිස්ස නම් අගසව්වෝ දෙදෙනෙක් වෙති. ආනන්ද නම් මහතෙර කෙනෙක් අත් පා මෙහෙකෙරෙයි. ඛේමාය-උප්පලවන්නා යයි අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වෙති, අටළොස් රියන් උස ඇති බුද්ධ කායකින් පන්සාළිස් හවුරුද්දක් බුදු ව මා සේ ම දහම්රස පොවා, සියලු සතුන් අමාමහ නිවන් පමුණුවයි, මහණෙනි! මේ පුරුෂයා ස්වල්ප වූ සතෙක් නො වෙයි, මතු බුදු වන්නා වූ බුදු බිජුවටෙකැ යි ස්තුතිකොට වදාරා විවරණ පතුල් දුන් සේක.

එතෙපුල් ඇසූ දෙවිමිනිසුන් දුන් සාධුකාර ශබ්දය බඹලෝ ගසා පැවැත්ත; ඉක්බිත්තෙන් බුදුහු බෝසතුන්ගේ මතු මරුන්ට නො දක්වන්නා වූ පිට නො මඩිමි යි ආදරයෙන් පය නොගා තුන් යලක් පැදකුණුකොට, සමන්මල් අටමිටකින් අටපූජාවක් කොට, වැඩිසේක. පසසෙහි වඩනා සාරලක්‍ෂයක් රහතුන්වහන්සේ ද, සාරලක්‍ෂයක් මල්මිටින් පුදා වැඩිසේක. එදා බුදුන්ට පූජාවට, රැස්වූ දසදහසක් සක්වළ සතළිස් දහසක් වරම්රජදරුවෝ සතළිස් දහසක් දිවමල් මිටින් පූජාකොට ගියහ. තවද දසදහසක් ශක්‍රයෝ ද දසදහසක් සුයාමයෝ ද, දසදහසක් සන්තුෂිතයෝ ද, දසදහසක් සුනිර්මිතයෝ ද, දසදහසක් පරනිර්මිතයෝ ද, දසදහසක් සක්වළ අරූතල-අසංඥ තල සත්‍වයන් හැර එක්ලක්‍ෂ පනස්දහසක් බ්‍රහ්මලෝකවල බ්‍රහ්මරාජයෝ ද, යන මේ සියළු දිව්‍යෙන්‍ද්‍රයෝ ම එකි එකී දිවමල් මිටින් බෝසතුන්ට පුදා ගියහ.

මෙසේ බුදුන් රහතන් මිනිසුන් දෙවියන් බඹුන් තමන් පුදා ගියකල මහබෝසතාණෝ එ මල් පීරා නැගි දිවමල් රැස් පිට වැඩ හිඳ බුද්ධකාරක ධර්‍මයන් පරීක්‍ෂාකොට ක්‍රමක්‍රමයෙන් සමත්‍රිංශත් පාරමිතාවන් දුටුසේක. එකෙණෙහි “හිමි! නුඹ බුදුවන දා මම දොස් කියමි’ යි මීකත අත්පොලසන් දුන්නා සේ, දසදහසක් සක්වළ මහපොළව එකපැහැර ගුගුරා පී ය. එ කෙණෙහි ඒ මහී නාදය අසා දසදහසක් සක්වළ වසන්නා වූ නාගයෝ ය, ගරුඬයෝ ය, ගන්‍ධපීයෝ ය, යක්‍ෂයෝ ය, රාක්‍ෂසයෝ ය, සිද්ධයෝ ය, විද්‍යාධරයෝ ය, දිව්‍යයෝ ය, බ්‍රහ්මයෝ ය යනාදී මහත් වූ සේනාව එතැනට දිව අවුදින් බෝසතුන් පිරිවරා, තව ද අප්‍රමාණ වූ පූජා කරන්නාහු, ඔල්වරසන් දහස, අත්පොළසන් දහස, අසුරුසන් දහස, පිළිසන් දහස, වැඳුම් දහස, සාධුකාර දහස යනාදීන් බඹලොව දක්වා එකනින් නාද පැවැත්වූහ.

ඒ කෙසේ ද? යත්;

“ඉදින් මේ බුදුන් කල සසරින් ගැලවීගත, නොහෙනුවෝ නම්: හිමි නුඹගේ බුද්ධරාජ්‍යයෙහි දී අප සසරින් ගැලවුවමැනවැ”යි කිය කියා වැඳ වැඳ සමහර ලොවෙක දෙවියෝ දිවමල්කඳු පුදා යෙති. තව ද සමහර ලොවෙක දෙවියෝ, හිමි! සුමෙධපණ්ඩිතයෙනි! පෙර නුඹසේ ම බෝධිසත්‍වවරයන් පළමුවන විවරණ ලදින් පාරමිතාවන් ආවර්‍ජනා කළ කලැ, ලොව යම් ආශ්චර්‍ය්‍යයෙක් පෙණිනි ද, ඒ ආශ්චර්‍ය්‍යවරයෝ දැන් නුඹටත් පහළ වූ හ. එසේ හෙයින් ඒකාන්තයෙන් නුඹ මතු බුදුවන දෑම ය, අප ද මතු සසරින් ගැලවුව මැනව”යි දිවසුවඳින් පුදා යෙති.

තව ද සමහර ලොවෙක දෙවියෝ “ස්වාමීනි! සුමෙධ පණ්ඩිතයෙනි! දැන් මේ ඇසිල්ලෙහි ශීත පීඩාවෙන් දුක්ගන්නා වූ එක ද සත්‍වයෙක් නැත, උෂ්ණ පීඩාවෙන් දුක්ගන්නා වූ එක ද සත්‍වයෙක් නැත, දසදහසක් සක්වළ ම ඉතා නිශ්ශබ්ද වි ය. සියලු සතුන්ට ම වියවුල් නැති වී ය. ප්‍රචණ්ඩ වූ පවන් නැති වි ය, ගං හෝ කඳුරැලි දිය සිටි දිය සේ රඳා ගියේ ය. මේ මේ කාරණයෙන් නුඹ මතු බුදුවන දෑ ම ය. අප ද එදා සසරින් ගැලවුව මැනව”යි දිව්‍ය භෙරිනාදයෙන් පූජාකොට යෙති.[2]

තව ද - සමහර ලොවෙක දෙවියෝ අවුත් “ස්වාමීනි! බුද්ධාංකුරයාණෙනි! අද තොපගේ මේ ආවර්‍ජනාවෙහි දසදහසක් සක්වළ මුළුල්ලෙහි දියෙහි ගොඩෙහි කුසුමයෙන් පිරීගියේ ය, නොයෙක් තුරුලිය ඵලභාරයෙන් පිරීගියේ ය. බෙර සක් - මිහිඟු ආදි තූර්‍ය්‍යයෝ තුමූ ම නාද පවත්වති, ආකාශයෙන් මල්වැසි වැස පී ය, සමුද්‍රවල මහරළ සන්සිඳී ගියේ ය, මහපොළොව ගුගුරා පී ය, මේ මේ කාරණයෙන් මතු නුඹ බුදුවන බව ඒකාන්ත ම ය. අප ද සසරින් ගැලවුව මැනවැ”යි කිය කියා දිව්‍ය වීණාගායනාවෙන් පූජා කොට යෙති.

තව ද - සමහර ලොවෙක දෙවියෝ අවුත් “ස්වාමීනි! වීරපුරුෂයාණෙනි! දැන් හැම නරකවල ගිනි නිවී ගිය, හිරුමඬල ප්‍රභාවත්ව ගිය, දහවල් තරු පෙණී ගිය, පොළොව පළා දියකඳු පැන නැංගේ ය. චන්‍ද්‍රදිව්‍යපුත්‍රයා වෛශාඛ යෝගයෙහි යෙදී ගිය, මේ මේ කාරණයෙන් මතු නුඹ බුදුවන දෑ ම ය, අපට ද මතු නිවන්රස දුනමැනව”යි දිව්‍ය නෘත්‍යයෙන් පූජාකොට යෙති.

තව ද - සමහර ලොවෙක දෙවියෝ “ස්වාමීනි සුමේධ නම් උත්තමයාණෙනි! අද තොපගේ මේ ආවර්‍ජනාවෙහි දසදහසක් සක්වල සියලු ප්‍රාණීහු ම තම තමන් වසන බිලාදියෙන් පිටත් ව ගියහ. සියලු තිරිසනුන්ගේ භය සංසිඳී ගිය, සියලු සත්‍වයෝ ම ඔවුනොවුන් කෙරෙහි සන්තෝෂ ය, සියලු සතුන්ගේ ම රෝග පීඩාවෝ සංසිඳී ගියහ, සියලු සතුන්ගේ සා පිපාසා නිවී ගියහ, මේ මේ කාරණයෙන් නුඹ මතු බුදු ව දම්සක් දෙසන දෑ ම ය, අපට ද මතු ධර්‍මදේශනා කළමැනවැ”යි කිය කියා දිව්‍ය ගීතිකාදියෙන් පුදා යෙති.

තව ද - සමහර ලොවෙක දෙවියෝ “ස්වාමීනි! මතු බුදුවන හිමියාණෙනි! දැන් මේ ඇසිල්ලෙහි රාගාදි කෙලෙස් සන්සිඳී ගියහ, ආකාශයෙහි රජස් නැති ව ගියහ. ලොව හැම දුර්‍ගන්‍ධයෝ ම නැති ව ගියහ. සුගන්‍ධ ගන්‍ධයෙන් හැම ලොව පිරී ගියේ ය; හැම දෙවියෝ මිනිසුන්ට පෙනෙති. මනුෂ්‍යයෝ දෙවියන්ට පෙනෙති. හැම නරක ම පෙනී ගියහ. මුළු ලොව ම ආවරණ නැති ව ගියහ. මේ මේ කාරණයෙන් නුඹ මතු බුදු ව නිවන්පුරයෙහි දොරහරණ දෑ ම ය, අප ද එපුරෙහි ලුව මැනවැ”යි කිය කියා දිව්‍ය ධ්වජමාලාවෙන් පුදා යෙති.

තව ද සමහර ලොවෙක දෙවියෝ දිව අවුදින් “ස්වාමීනි! සුමේධ නම් මහතාණෙනි! දැන් මේ මුළුලොව උපදනා සත්‍වයෙකුත් නැත, මියන්නාවූ සත්‍වයෙකුත් නැත. ලොව අවීර්‍ය්‍යවත් තාපසයෙකුත් නැත. මුළුලොව පැහැදී ගිය, මුළුලොව නිවී ගිය, හැම සිත් පිරී ගිය, මේ මේ කාරණයෙන් ඒකාන්තයෙන් නුඹ මතු බුදුව සද්ධර්‍ම දේශනාවෙන් සතුන් සන්තුෂ්ටකරණ දෑ ම ය. අපට ද එදා දහම් දෙසුව මැනවැ”යි කිය කියා දිව මල් දම දමා දිව සුවඳ ඉස ඉස ගායනා පතුරුව පතුරුවා, පූජාකොට හැම දෙවියෝ ගියහ.

ප්‍රථම විවරණය ලැබීම

මෙසේ මාගේ ශ්‍රීමහාබෝධිසත්‍වයෝ තමන් පළමුවන විවරණ පතුල් ලත් දා ම බුදුන්ගෙන් පූජා අටෙක, රහතුන්ගෙන් සාර ලක්‍ෂයක් පූජා ය, වරම් රජුන්ගෙන් සතලිස් දහසක් පූජාය, සක්දෙව් රජුන්ගෙන් දසදහසක් පූජා ය, සුයාම රජුන්ගෙන් දසදහසක් පූජා ය, සන්තුෂිත රජුන්ගෙන් දසදහසක් පූජා ය, සුනිර්මිත රජුන්ගෙන් දසදහසක් පූජා ය, පිරිනිර්මිත රජුන්ගෙන් දසදහසක් පූජා ය, තව ද - දසදහසක් සක්වළ අරූතල-අසඤ්ඤසතලයන් හැර සියළු බ්‍රහ්මරාජයන්ගෙන් එක්ලක්‍ෂ පනස්දහසක් පූජා ය, පසුව පාරමිතාවන් ආවර්ජනා කළ වේලෙහි මහීගර්ජනාවෙහි හඬ අසා දිවු දසදහසක් සක්වළ මුළුල්ලෙහි දිව්‍ය බ්‍රහ්මයන් විසින් කරනලද දෙලක්‍ෂ සතළිස් දහසක් මහාපූජා ය, දෙතිස් මහාපූර්‍ව නිමිත්ත පූජා ය; මහීගර්ජනා නම් පූජා ය යි මෙසේ පළමුවන අභිනීහාර මගුල් පූජාවෙහි ම අටලක්‍ෂ අසූදහස් එක්සාළිස් මහා පූජාවක් ලත් හෙයිනුත්, සඞ්ඛ්‍යා පථයට අවිෂය වූ පූජාවන් අප්‍රමාණකොට ලත් හෙයිනුත් එසේ වූ පූජාවිඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්‍හත් නම් වනසේක.

එසේ හෙයින් කියන ලදි.

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං අරහන්ති ලෝකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං’යි

මෙතෙකින් අට මහලෝ වැඩ පිණිස කරන ලද අර්හත් ගුණ වර්‍ණනා සඞ්ඛ්‍යාත මේ පූජාවලියෙහි අප බුදුන් අෂ්ටාඞ්ගධර්‍මයෙන් ලද

අභිනීහාරමගුල් පූජාකථා නම් වූ දෙවන පරිච්ඡේදය නිමි.

3. විවරණ මඟුල් පූජා

තව ද අප බුදුන් හැම බුදුන්ගෙන් නො වරදවා සාමාන්‍ය ධර්‍ම යෙන් ලද විවරණ මඟුල් පූජා නම් කවරහු? යත්;

ඒ දිවකුරු බුදුන් පටන් බුද්ධ ශූන්‍ය වූ අසඞ්ඛ්‍ය කප් ගිය කල සාර නම් කපෙක කොණ්ඩඤ්ඤ නම් බුදුරජානෝ, රම්‍යවතී නම් නුවර සුනන්‍ද නම් රජහුගේ සුජාතා නම් බිසවුන් කුසින් දසදහසක් සක්වළ දෙව් බඹ පිරිස් මැද සරත් වලාකඩෙකින් නිකුත් පුන්සඳ මඬලක් සේ බිහිව වැඩි තුන් ලක්‍ෂයක් සුරඟනන් පිරිවරා, දසදහසක් හවුරුදු රජසිරි විඳ රුචි නම් අගබිසවුන් විජිතසේන නම් පුත් රුවන වැදූ දා රථයානින් වැඩ දසකෙළක් ඇමතියන් හා සමග පැවිදිවැ දසමසක් දුෂ්කරක්‍රියා පුරා යසෝධරා නම් සිටුදුව දුන් මීකිරිපිඬු වළඳා, අටපනස්රියන් විදුරස්නේ සල්සිරිබෝ පිට දී වැඩ හිඳ බුදුසිරි ලදින් සසුන් නමැති ගුවනෙහි හිරු සඳු සේ ප්‍රසිද්ධ වූ භද්‍ර ය - සුභද්‍ර ය යන අගසව්වන් දෙදෙනා හා සමග කෙළ ලක්‍ෂයක් මහසව්වන් පිරිවරා ශීලාදියෙන් සමෘද්ධ වූ අනුරුද්ධ නම් මහතෙර කෙනෙකුන් අතින් අත්පා මෙහෙ විඳ, අට අසූරියන් බුදුබඳෙකින් හවුරුදු ලක්‍ෂයක් ආසිරි ලදින් වැඩහිඳ මුළුලොව එක් නිවන් පිඩක් සේ කරන සේක. එ කල අප බෝසතාණෝ විජිතාවි නම් චක්‍රවර්ති රජ ව, වෙහෙරක් කරවා කෙළලක්‍ෂයක් රහතුන් සමග බුදුන්ට තුන් මසක් අසදෘශ මහදන් දී ඒ කොණ්ඩඤ්ඤ නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් සක්විති රජ ය හැර මහණව, එ දවස් දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ දෙවන වූ විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද - එයින් බුදුන් නැති ව ම අසංඛ්‍යයක් ශුන්‍යකප් ගිය, සාරමණ්ඩ නම් කපෙක මඞ්ගලය, සුමනය, රේවතය, සෝභිතය යන බුදුවරුන් සතරදෙනෙක් පහළ වූ හ. ඉන් මඞ්ගල නම් බුදුහු උත්තරා නම් නුවර උතුරු නම් රජහුගේ උතුරු නම් බිසවුන් කුස පිළිසිඳ, එතැන් පටන් දරුගැබ් සෝභාවෙන් අසූරියන් ගෙයි අඳුරු දුරුකොට දසමසක් වැස, දෙව්බඹ පිරිස් මැද ලහිරුමඬලක්සේ බිහිව ක්‍රමයෙන් වැඩී, දෙවඟනන් වැනි වරඟනන් තිස්දහසක් පිරිවරා නවදහසක් හවුරුදු රජසිරි වළඳා යසවතී නම් දේවීන් සීලව නම් පුත්රුවන වැදූ දා වර තුරග යානාවෙකින් වැඩ තිස්කෙළක් සෙනග හා සමග එක දා මහණ ව අටමසක් දුෂ්කර ක්‍රියා පුරා උතුරු නම් සිටුදුව දුන් පිවිතුරු කිරිපිඬු වළඳා සවස අටපනස්රියන් විදුරසුන් අරා නාසිරිබෝ පිට දී වැඩ හිඳ සව් කෙලෙසුන් නසා බුදුව තමන්වහන්සේ පෙර බෝධිසත්‍ව සමයෙහි දන් දුන් දරු දෙදෙනා හුණකිළිල් සේ මුරු මුරුයා කකා, දෙක පොළයෙන් නිකුත් රුධිර ධාරාවන් වගුරුව වගුරුවා කට දල්වා පෑල කරදළ නම් ඒ දරුණු යකු දැක ද, සිත නො කළඹා කළ පැතුම් බලයෙන් හා, තව ද - සිටුපුතක් ව සියලඟ තෙල්කඩ සිසාරා පහන් දල්වා තුන්යම් රෑ එක් බුදුකෙනෙකුන්ගේ ධාතු සෑයක් වටා දිවි දී පුදකළ පහන් බෙලෙන් තෙසු බුදුන් වඩා සියලඟින් නිකුත් රැස්කඳින් දසදහසක් සක්වළ දිවාරාත්‍රියෙහි බබුලුවා හිරුසඳ රස් වළක්වා සසුන් නමැති ආකාශයෙහි ගුරු සිකුරු තරු වැනි වූ සුදේව ය, ධර්‍මසේන ය යන අගසවු දෙදනො සමග කෙළ ලක්‍ෂයක් මහරහතුන් පිරිවරා, අවාලිත වූ පාලිත නම් මහතෙර කෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ අටාසූරියන් බුදුබඳෙකින් අනූදහසක් හවුරුදු බුදුසිරි වළඳා මුළුලොව බබුලුවා නිවන්රස දෙන සේක. එ කල අප මහබෝධිසත්‍වයෝ සුරුචී නම් බමුණු ව කෙළ ලක්‍ෂයක් රහතුන් සමග බුදුන් පවරා ගෙනවුත් සක්දෙව් රජහු මවා දුන් අටසාළිස් ගවු සත් රුවන් මණ්ඩපයක වඩා හිඳුවා පැන් නො වැකු කිරිබතින් අසදෘශ මහදන් සත්දවසක් දී පසුවදා බුදුන්ට අනගි පිරිකරක් හා, කෙළලක්‍ෂයක් රහතුන්ට කෙළලක්‍ෂයක් අට පිරිකර දෙනුවෝ පෙළග හුන් නමට පස්සෙහි පිරිකර ඝනරන් දහසක් අගනාකොට දී ඒ මගුලේ මඟුල් නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ තුන්වන වූ විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද - එ ම කප දෙවන අන්තර කල්පයෙහි, සුමන නම් බුදුහු මෙඛලා නම් නුවර සුදත්ත නම් රජහුගේ සිරිමා නම් අගබිසවුන් කුස පිළිසිඳ දසමසක් වැස තුන්ලෝ තිලකයක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී සුරඟනන් වැනි පුරඟනන් තෙසැට දහසක් පිරිවරා නවදහසක් හවුරුදු රජසිරි විඳ වටංසකා නම් බිසවුන් නිරූපම වූ අනූපම නම් පුත්රුවන වැදූ දා මගුලැත්යානින් මහබිනික්මන් කොට එක දා තිස් කෙළක් දෙනා හා සමග මහණ ව දසමසක් දුෂ්කරක්‍රියා කොට අනූපම නම් සිටුදුව දුන් නිරූදක වූ කිරිපිඬු වළඳා, තිස්රියන් විදුරසුන් අරා, නාසිරිබෝ පිට දී වැඩහිඳ, පස්මරුන් බිඳ, බුදුව සසුන් නමැති කල්පද්‍රැමයෙහි ජාත ශාඛා යුග්මයක් වැනි සරණය, භාවිතත්තය යන අගසවු දෙදනො සමග කෙළලක්‍ෂයක් මහසව්වන් පිරිවරා පිදේනී වූ උදේනි නම් මහතෙර කෙනෙකුන් අතින් අත්පා මෙහෙ විඳ අනූරියන් බුදුබඳෙකින් අනූදහසක් හවුරුදු ආසිරි වළඳා ලෝවැඩ කරන සේක. එ කල අප මහාබෝධිසත්‍වයෝ අතුල නම් දිව්‍යනාගරාජයන් ව නේ සුවහස් දිව නයින් පිරිවරා අවුදින් බුදුන් හා සමග කෙළලක්‍ෂයක් මහරහතන් පිරිවරා දිවබත් වළඳවා, කෙළලක්‍ෂයක් දිවසළු පුදා, දිව්‍ය පූජායෙන් සුමනකොට, ඒ සුමන නම් බුදුන් අතින් විවරණ ශ්‍රී ලදින්, එ දා දසදහසක් සක්වළ දෙවිබඹුන් කළ මේ සතරවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද - එම කප තුන්වන අන්තර කල්පයෙහි රේවත නම් බුදුරජාණෝ සුධඤ්ඤවතී නුවර විපුල නම් රජහුගේ විපුලා නම් අගබිසවුන් කුසින් චිත්‍රකූට පර්‍වතයෙන් බස්නා ස්වර්‍ණහංසරාජයක්හු සේ බිහි ව පෙර’ඩමස සඳ සේ වැඩී සුරලියන් වැනි වරලියන් තෙතිස් දහසක් පිරිවරා, දසදහසක් හවුරුදු රජය කොට සුනන්දා නම් දේවීන් තමන් හා එක් වැනි වූ වරුණ නම් පුත්රුවන වැදූ දා රථ යානාවකින් නික්ම කෙළක් පිරිස් සමග එක් දා මහණ ව, සත්මසක් පධන් සැරිසරා සාධ්‍රදේවීය දුන් කිරිබත් වළඳා, තෙපණස් රියන් විදුරසුන් අරා නාගශ්‍රී බෝධියට පිට දී වැඩහිඳ, කෙලෙසුන් නසා බුදු ව සසුන් නමැති ගුවනෙහි නැඟූ ජය කේතු යුග්මයක් වැනි වරුණය, බ්‍රහ්මදේවය යන අගසව්වන් දෙදෙනා සමග කෝටියක් පමණ මහසව්වන් පිරිවරා ගුණ විභව සම්භව නම් මහතෙර කෙනෙකුන් අතින් නිති මෙහෙ ගෙණ අසූරියන් බුදුබඳෙකින් දිලියෙමින් ව්‍යාම ප්‍රභාමණ්ඩලයකින් සතර ගව්වක් තැන් දිවා රෑ බබුලුවා සැටදහසක් හවුරුදු ආසිරි වළඳමින් සවුසතුන් නිවන් පුර පුරා වැඩවසන සේක. එ කල මාගේ ශ්‍රීමහාබෝධිසත්‍වයාණෝ අතිදේව නම් බ්‍රාහ්මණ ව සිවු වේදය ගෙවා දැන මහා පණ්ඩිත ව ඒ බුදුන් කරා ගොස් දෙතිස් ලකුණු දුටු සතුටින් දහසක් වටනා උතුරු සළුවෙන් පුදා බුදුන් බල බලා සිටි පිය නොසොල්වා සිට, විසිතුරු සිලෝ දහසක් බැඳ බුදුගුණ කියා; ඒ රේවත නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එ තැන රැස් වූ දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ පස්වන වූ විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද - එම කප සතරවන අන්තර කල්පයෙහි සෝභිත නම් බුදුරජාණෝ සුධර්‍මා නම් නුවර සුධර්‍ම නම් රජුහුගේ සුධර්‍මා නම් බිසවුන් කුස පිළිසිඳ දසමස් අයාමෙන් මහ මේ ගැබෙකින් නිකුත් පුන්සඳ මඬලක් සේ බිහි ව කුමාරශ්‍රීන් වැඩී දෙවඟනන් වැනි වරඟනන් සැත්තෑදහසක් පිරිවරා දසදහසක් හවුරුදු රජසිරි විඳ මඛිලා නම් බිසවුන් සිංහ නම් පුත්රුවන වැදූ දා තමන් රජසිරි විඳිමින් රන් පායෙහිදී ම පැවිදි ව එම දා ම චතුර්‍ථධ්‍යාන උපදවා සත් දවසක් එ ම ගෙහි පධන් සැරිසරා වෙසඟ මැදි පොහොදා ඒ මඛිලා නම් අග බිසවුන් පිස දුන් මී කිරිබත් වළඳා මහබිනික්මන් කෙරෙමි යි සිතූකෙණෙහි කුසල් බෙලෙන් එම රන්පාය පොළොවින් අහසට නැගී සිවුරඟ සෙනඟ සමග පුන්සඳ මඬලක් සේ ගොස් බෝමැඩ වටා බෝගෙයක් සේ පිහිටි කල්හි අදහස් දත් වරඟනන් පායෙන් බැස සිවුරඟ සෙන් හා උන් සමග නුවර ගිය කල්හි රජසිරි උන් සිංහාසනාරූඪ ව නාගබෝධි ය පිට ලා වැඩ හිඳ කෙලෙසුන් නසා බුදුව සසුන් නමැති මහාසිරසියෙහි පැනනැගී පද්ම යුග්මයක් වැනි වූ අසමය, සුනෙත්‍රය සහ අගසව්වන් දෙදෙනා සමග තිස්කෙළක් පමණ මහරහතන් පිරිවරා ගුණානන්‍ද වූ ආනන්‍ද නම් මහාස්ථවිරකෙනෙකුන් අතින් උපස්ථාන ලදින්, අටපනස් රියන් බුදුබඳෙකින් අනූ දහසක් හවුරුදු ආසිරි වළඳා බුදුසිරි විඳිසේක. එ කල අප මහාබෝසතාණෝ සුජාත නම් බමුණු ව බුදුන් දැක බණ අසා සතුටු ව බුදුපාමොක් සඟපිරිසට තුන්මසක් දන් දී ඒ සෝභිත නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එ කෙණෙහි දසදහසක් සක්වළ දෙවිබඹුන් කළ මේ සවන විවරණ පූජාව ලත් සේක.

එතැන් පටන් බුද්ධශූන්‍යව අසඞ්ඛ්‍යයක් කප් ගියකල වර නම් කල්පයෙක් වි ය. එහි අනෝමදස්සි ය, පදුම ය, නාරද ය යන මුනි උතුමෝ තුන්දෙනෙක් උපන්හ. එයින් අනෝමදස්සි නම් බුදුරජාණෝ සඳවත් නම් නුවර සඳවත් නම් රජහුගේ යසෝධරා නම් දේවීන් කුස පිළිසිඳගත් තැන් පටන් මෑණියන් ඇඟින් නිකුත් ප්‍රභාවෙන් අසූරියන් ගෙයි පහන් නොනංවා දෑරඟ මිණිරුවණක් සේ වැස දසමස් ඇවෑමෙන් බාලාර්‍කමණ්ඩලය සේ, බිහිව ක්‍රමයෙන් වැඩී දිව්‍යස්ත්‍රීන් බඳු පුරස්ත්‍රීන් දසදහසක් පිරිවරා දස දහසක් හවුරුදු රජ සිරි විඳ සිරිමා නම් අගබිසවුන් උපවාන නම් පුත්රුවන වැදූ දා රන්සිවිගෙයකින් වැඩ තිස්කෙළක් අගමැතියන් හා සමග පැවිදි ව දසමසක් වීර්‍ය්‍යකොට අනූපමා නම් සිටුදුව දුන් කිරිපිඬු වළඳා අටතිස් රියන් විදුරසුන් අරා මහකුඹුක් සිරිබෝ පිට ලා වැඩහිඳ මරසෙන් බිඳ බුදුව සසුන් නමැති මහරන්පව්වෙහි ජාත රන්කුළු සඟළක් වැනි වූ නිසභය, අනෝමය යන අගසවු දෙදෙනා සමග තිස් කෙළක් මහරහතුන් පිරිවරා සරණ වූ වරුණ නම් මහතෙර කෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ අටපනස් රියන් බඳු බඳෙකින් ලක්‍ෂයක් හවුරුදු ආසිරි වළඳා එකල; සරද තාපස සිරිවඩ්ඪන නම් දැන් අපගේ සැරියුත් මුගලන් යන දෙදෙනාවහන්සේට අගසවු ප්‍රාර්‍ථනා ද දී බොහෝ සතුන් නිවන් පුරයෙහි පුරා වැඩවසන සේක. එ කල අප මහබෝසතාණෝ මහේශාක්‍ය යක්‍ෂරාජන්ව ඉපද නේ සුවහස් යක්සෙන් පිරිවරා අවුදින් සත්රුවන් මණ්ඩපයක් මවා බුදුපාමොක් මහසඟනට සත්දවසක් දිව්‍යාහාර දන් දී ඒ අනෝමදස්සී නම් බුදුන් අතින් ද අනෝම වූ විවරණ ශ්‍රී ලදින් එ සඳ දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ සත්වන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද එම කප දෙවන අන්තරකල්පයෙහි පදුම නම් ස්වාමිදරුවාණෝ චම්පා නම් නුවර අසම නම් රජුගේ අසමා නම් බිසවුන් කුස පිළිසිඳ දසමස් පුරා දඹදිව්තෙලෙහි පියුම්වැසි වස්වා දෙවි බඹ කැලන් මැද බිහි ව දෙව්කුමරකු සේ වැඩී තෙතිස් දහසක් වරඟනන් පිරිවරා දසදහසක් හවුරුදු රජ කොට උතුරු නම් බිසවුන් රම්‍ය නම් පුත්කුමරුවා ලත් දා රථයානාවකින් වැඩ සියක් ලක්‍ෂයක් ඇමැතියන් හා සමග එක දා මහණ ව අටමසක් දුෂ්කරක්‍රියා පුරා ධනවතී නම් සිටුදුව දුන් මීකිරි පිඬු වළඳා සවස බෝමැඩව වැඩ අටතිස් රියන් විදුරසුන් අරා වෙණුසිරිබෝ පිට දී වැඩ හිඳ සව් කෙළෙසුන් නසා බුදු ව සසුන් නමැති මහරත්පියුමෙහි ජාත රත්පෙති සඟළක් වැනි සාලය, උපසාලය යන අගසවු දෙදෙනා සමග කෙළක් පමණ මහරහතන් පිරිවරා සරණ වූ වරුණ නම් ස්ථවිර කෙනෙකුන් විසින් කරන ලද අත් පා මෙහෙ ඇති ව අටපනස් රියන් බුදු බඳෙකින් සවුරුදු ලක්‍ෂයක් වැඩහිඳ දහම් වැසි වස්වන සේක. එ කල මාගේ ශ්‍රී මහා බෝධිසත්‍වයෝ සිංහරාජන් ව ඉපද සත්දවසක් ධ්‍යාන සුවයෙන් වන මැද වැඩහුන් බුදුන් දැක තුන් යළක් පැදකුණුකොට, තුන් යළක් ප්‍රීතීන් සිංහනාද පවත්වා මතු තමන් අනිමිසලෝචන පූජාවට කරන සරඹයක් සේ ගොදුරු නොකා නොසැලී ඇස නො මරා සත්දවසක් බුදුන් බලා දිවි පුදා සිටි දෑ ය. බුදුහු ධ්‍යාන සුවයෙන් නැගී බුදුකුරුදම් විසී කළ ඒ සීරජු දැක සිතන්නා හා සමග වැඩ සිසාරා සිට ගත් ශ්‍රාවකගණයා මැද, “මහණෙනි! මේ සිංහරාජයන් මට දිවි පුදා හුන් කුසලින් මතු ගෞතම නම් බුදු ව මා සේ ම ලෝ වැඩ කෙරෙයි වදාළ සේක. මෙසේ ඒ පදුම නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ අටවන විවරණ පූජාව ලත් සේක.

තව ද එම කප තුන්වන අන්තරකල්පයෙහි, නාරද නම් බුදුරජාණෝ සුධඤ්ඤවතී නම් නුවර සුදෙව් නම් රජහුගේ අනූපමා නම් අගබිසවුන් කුස පිළිසිඳ දඹදිව දොර දොර කප්රුක් නංවා බඹලොවින් බස්නා බඹකුමරෙකු සේ බිහි ව කුමරසිරින් වැඩි පුරඟනන් එක්ලක්‍ෂ විසිදහසක් පිරිවරා නවදහසක් හවුරුදු රජසිරි වළඳා විජිතසේනා නම් අගබිසවුන් නන්‍දුත්තර නම් පුත්රුවන වැදූ දා, සිවුරඟසෙන් සමග සිරිපතුල් යානින් මගුල් උයන් වැඩ මගුල්සලවට වැඩ හිඳ, ලක්‍ෂයක් ඇමතියන් හා සමග පැවිදි ව එම උයන සත්දවසක් පධන් සැරිසරා අගබිසවුන් පිසදුන් මීකිරිබත් වළඳා එම උයනෙහිදී ම අටපනස්රියන් විදුරසුන් අරා මහාසොණ නම් සිරිබෝකඳ පිට දී සව්නේ ගෙවා දැන බුදු ව සසුන් නමැති ගුවනෙහි දෙව්දුනු දෙකක් වැනි වූ, භද්‍රසාල ය, සුනේත්‍ර ය යි යන අගසවු දෙදෙනා සමග ලක්‍ෂයක් පමණ මහරහතන් පිරිවරා ශිෂ්ට වූ වාශිෂ්ට නම් මහතෙර කෙනෙකුන් අතින් නිති මෙහෙලදින් අට අසූරියන් බුදුබඳින් දිලිසෙන බ්‍යාමප්‍රභාමණ්ඩලයෙන් යොදනක් තැන් දසදිග බබුළුවා අනූදහසක් හවුරුදු ආසිරි වළඳා ද්‍රොණමුඛ නම් නාගරාජයා ආදී වූ බොහෝ සතුන් දමා නිවන්පුර පුරා වසන සේක. එ කල අප මහබෝසතාණෝ උග්‍ර වූ තපස් ඇති ව ධ්‍යානලාභී ව වෙනෙහි වසන දෑ අසූකෙළක් රහතන් හා අනාගාමී උපාසක දහදහසක් සමග පන්සලට වැඩ බුදුන් දැක පැහැද බුදුපාමොක් සඟපිරිසට විසිතුරු කොට පන්සල් මවා සතපා රෑ බණ අසා උදය උතුරුකුරුදිව වැඩ දිව බත් ගෙනවුත් වළඳවා, මෙසේ සත්දවස සතපා පසුවදා අනගි රත්සඳුන්හරක් බුදුන් පෙරට පුදා ඒ නාරද නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ නවවන විවරණ මඟුල් පූජාව ලත්සේක.

තව ද මොහාන්‍ධකාරයෙන් ලොව ඒකාන්‍ධකාරව අසංඛ්‍යයක් කප් බුද්ධ ශූන්‍ය ව ගිය කල අපගේ මේ භද්‍රකල්පයට ලක්‍ෂයක් වන සාර නම් කල්පයෙහි සාරවූ ගුණ ඇති, පියුමතුරා නම් බුදුරජාණෝ හංසවතී නම් නුවර ආනන්‍ද නම් රජහුගේ සුජාතා නම් අගබිසවුන් කුස පිළිසිඳ ලොව පියුම් වැසි වස්වා මහාබ්‍රහ්මයා අත රන්දැලට බ්‍රහ්මකුමාරයකු සේ බිහි ව ක්‍රමයෙන් වැඩී ලක්‍ෂයක් නාටක ස්ත්‍රීන් පිරිවරා දසදහසක් හවුරුදු දසරජදම් පුරා වාසුදත්තා නම් අගබිසවුන් අනුත්තර වූ උත්තර නම් පුත් රුවන වැදූ දා මහබිනික්මන් කෙරෙමි යි සිතූ කෙණෙහි පින් බෙලෙන් අහසට පැන නැංගා වූ රන් මාලිගාවෙන් සිවුරගසෙනග සමග වැඩ බෝ මැඩ කරා බැස නැවත එම මාලිගාවට ගොස් සිය නුවර පිහිටා ගිය කල ස්ත්‍රීන් හැර හැම සෙන් සමග මහණ ව සත් දවසක් ප්‍රධන් සැරිසරා වෙසඟමැදි පොහෝදා රුචිනන්දා නම් සිටුදුව දුන් මී කිරිබත් වළඳා අටතිස්රියන් විදුරසුන් අරා, සළල සිරිබෝ පිට දී වැඩ හිඳ කෙලෙසුන් නසා බුදු ව උද්දාන පවත්වා සත්දවසක් බුද්ධාසනයෙහි වැඩහිඳ සත්වෙනිදා දක්‍ෂිණ ශ්‍රීපාදය පොළොවට දිගුකොට වදාළ සේක. එ කෙණෙහි අනූරියන් දිග මහ පෙති ඇති, තිස්රියන් දිග කෙසුරු ඇති, දොළොස් රියන් කෙමි ඇති, මහපියුමක් පොළොව පලා පැනනැගී, ශ්‍රී පාදය පිළිගත. වාම ශ්‍රීපාදය ඔසවා වදාළ සේක. එසේ ම මහපියුමෙක් පැන නැගි ඒ ශ්‍රීපාදයද පිළිගත. මෙසේ බුදුහු දොළොස්රියන් පියුම කෙමියෙහි එකොළොස්රියන් ශ්‍රීපාදය තබ තබා වඩනා සේක්, නැගු නැගූ පත්ලෙහි පියුම් අන්තර්‍ධාන වෙයි. දිගුකළ කළ පත්ලෙහි පියුම් පෙනෙයි. මෙසේ ඒ පියුම්වල නවතිඹක් පමණ රොන් අහසට පැන නැගී අටපනස්රියන් බුද්ධකාය රන් පර්‍වතයෙක ලාක්‍ෂාරස ඉස්නා සේ තවරමින් බසියි. ඉක්බිත්තෙන් බුදුන්ගේ ශ්‍රී ශරීරයෙන් බුදුරැස් කඳෙක් දිව අවට දොළොස් යොදුනෙහි පැතිර දිවා රාත්‍රියෙහි වෙනසක් නො දක්වා සිටගත. මෙසේ ඒ බුදුන් මවුකුසින් බිහිවූ වේලෙහි ද බුදු වූ වේලෙහි ද දසදහසක් සක්වළ පියුම් වැසි වැසපී ය. දිවි පමණින් ම නැගු නැගු පත්ලෙහි පියුම් නැගෙයි. එසේ හෙයින් ඒ බුදුහු පියුමතුරා නම් සේක. ඒ පියුමතුරා නම් ස්වාමිදරුවෝ සසුන් නමැති කනක ප්‍රාසාදයෙහි මැවුනු රුවන් ටැම් සඟළක් වැනි වූ දේවල ය සූජාත ය යන අගසව්වන් දෙදෙනා සමග සැත්තෑ ලක්‍ෂයක් මහරහතන් පිරිවරා සුමන වූ සුමන නම් මහතෙර කෙනෙකුන් අතින් අත්පා මෙහෙ විඳ දොළොස් යොදනක පැතිරෙන බ්‍යාමප්‍රභාමණ්ඩල ඇති ව අටපනස් රියන් බුදුබඳෙකින් ලක්‍ෂයක් හවුරුදු ආසිරි වළඳා අප බුදුන්ගේ අසූමහසව්වන්ට ද විවරණ දී, දේශනාරශ්මීන් විනෙය කුමුදුවන පුබුදු වන සේක. එ කල්හි අප මහ බෝසතාණෝ කෝටි ගණන් ධන ඇති ජටිල නම් මහරැටි ව බුදුපාමොක් මහසඟනට හා සිවුරු පිරිකර දී ඒ පියුමතුරා නම් බුදුන් අතින් ද සිතු උතුරුවා විවරණ ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ දසවන විවරණ මඟුල් පූජාව ලත්සේක.

මෙසේ සිටි ලක්‍ෂයක් කපින් සැත්තෑ දහසක් කප් බුද්ධ ශූන්‍ය ව ගිය කල මෙයට තිස්දහසක්වන සාරමණ්ඩ නම් කල්පයෙහි සුමෙධ ය - සුජාත ය යන සර්‍වඥවරයෝ දෙදෙනෙක් උපන්හ. ඉන් සුමේධ නම් බුදුරජාණෝ සුදර්‍ශන නම් නුවර සුදත්ත නම් රජුහුගේ සුදන්තා නම් අගබිසවුන් කුසින් මේඝමුඛයෙන් නික්මුනා වූ සඳමඬලක් සේ බිහිව ක්‍රමයෙන් වැඩී දෙවඟනන් බඳු වරඟනන් අටසාළිස් දහසක් පිරිවරා නවදහසක් හවුරුදු රජසිරි විඳ සුමනා නම් බිසවුන් පුනර්බසුමිත්‍ර නම් පුත්රුවන වැදූ දා ඇත්යානෙකින් වැඩ කෙළ සියයක් පුරුෂයන් හා සමග මහණව අටමසක් දුෂ්කර ක්‍රියා පුරා නකුලා නම් සිටුදුව දුන් කිරිපිඬු වළඳා විසිරියන් තණපළඟ පිට නීප සිරිබෝ පිට දී සිවුරග ඉටා වැඩහිඳ මුළුලොව සදා බුදු ව සසුන් නැමැති මහසරසියෙහි පැන නැගී දෑරඟමිණිරුවන් සඟළක් වැනි වූ සරණ ය, සම්බකාම ය යන අගසව් දෙදෙනා සමග කෙළ සියයක් පමණ මහරහතන් පිරිවරා සාගරය සේ ගුණ ඇති වූ සාගර නම් මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ සියලඟ රසින් යොදනක් තැන් දව රෑ බබුළුවා අටාසූරියන් උස බුද්ධ කායෙකින් අනූදහසක් හවුරුදු ආසිරි වළඳා වැඩහිඳ, තමන් වහන්සේට කිපී පර්‍වතයක් සා හිසක් මවා, හිරුමඬල සා ඇස් මවා ගල්ගුහාවක් සේ කට දල්වා, කමි යි දිවූ කුම්භකර්‍ණ නම් යක්‍ෂයා ආදීවූ බොහෝ සත්‍වයන් අමාමහනිවන් පමුණුවා වසනසේක. එකල අප මහබෝසතාණෝ උත්තර නම් මානවක ව අසූ කෙළක් ධනය එක දා විසඳා බුදුපාමොක් මහසඟනට මහදන් දී එම දා පැවිදි ව ඒ සුමේධ නම් බුදුන් අතින් ද, සුමේධ වූ විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ එකොළොස් වන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද එම කප දෙවන අන්තර කල්පයෙහි සුජාත නම් බුදුරජාණෝ-සුමඞ්ගල නම් නුවර උග්ගත නම් රජහුගේ ප්‍රභාවතී නම් බිසවුන් කුස පිළිසිඳ දසමස් පුරා මිණිගුහායෙකින් නිකුත් කේශර සිංහරාජයකු සේ බිහිව ක්‍රමයෙන් වැඩී තෙවිසිදහසක් පුරඟනන් පිරිවරා නවදහසක් හවුරුදු රාජ්‍යශ්‍රී විඳ ශ්‍රීනන්‍දා නම් දේවීන් උපසේන නම් පුත්රුවන වැදූදා වර තුරඟයානින් මහභිනික්මන්කොට එක්දා සීයක් ලක්‍ෂයක් ඇමතියන් හා සමග මහණ ව නවමසක් දුෂ්කරක්‍රියා පුරා ශ්‍රීනන්‍දා නම් සිටුදුව දුන් කිරිපිඬු වළඳා දෙතිස්රියන් තණපළඟපිට හුනගසක් පිට ලා වැඩහිඳ මරසෙන් බිඳ බුදු ව සසුන් නමැති ගුවනෙහි නැගු ධ්වජමාලාවක් වැනි වූ, සුදර්‍ශනය, සුදෙව ය යන අග්‍රශ්‍රාවක දෙදෙනා සමග සියක් ලක්‍ෂයක් මහරහතන් පිරිවරා, ගුණයෙන් විසාරද වූ නාරද නම් මහතෙර කෙනෙක් අතින් අත් පා මෙහෙ විඳ පනස්රියන් බුදුබඳෙකින් අනූදහසක් හවුරුදු ආසිරි වළඳා මුළුලොව නිවන් පුර පුරා වැඩවසන සේක. එකල අප මහබෝසතාණෝ චක්‍රවර්ති රජ ව බුදුන් දුටු සතුටින් සක්විති රජ ය. පුදා මහණ ව ඒ සුජාත නම් බුදුන් අතින් විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ දොළොස්වන විවරණ මඟුල් පූජාව ලත්සේක.

තුබූ තිස්දහසක් කපින් විසිනවදහස් අටසිය දෙයාසූකපක් බුද්ධ ශූන්‍ය ව ගියකල මෙයට එක්සිය අටළොස්වන වර නම් කල්පයෙහි පියදස්සී ය, අත්‍ථදස්සී ය, ධම්මදස්සී ය යන බුද්ධොත්පාද තුනෙක් වී ය. එයින් පියදස්සී නම් ස්වාමිදරුවාණෝ සුධඤ්ඤවතී නම් නුවර සුදත්ත නම් රජහුගේ චන්‍ද්‍රවතී නම් බිසවුන් කුස පිළිසිඳ දසමස් පුරා දෙව් බඹ කැලන් මැද මුදුන් මල්කඩක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩි දෙතිස් දහසක් රන්ලියන් වැනි වරලියන් පිරිවරා නවදහසක් හවුරුදු රජසිරි පුරා විමලා නම් අගබිසවුන් කඤ්චනවෙල නම් පුත්රුවන් වැදූ දා අශ්වයානයකින් නික්ම, සියක් ලක්‍ෂයක් හා සමග මහණව සමසක් වීර්‍ය්‍ය කොට වසභා නම් බැමිණිය දුන් මී කිරිපිඬු වළඳා තෙපනස්රියන් මිණිපළඟ පිට පුවඟුසිරිබෝ පිට ලා වැඩ හිඳ සව්නේ ගෙවා බුදුව බුදුසසුන් නමැති රන්කෙතෙහි ගත් රන්කරල් සඟළක් වැනි වූ පාලිත ය සබ්බදස්සිය යන අග්‍ර ශ්‍රාවක දෙදෙනා සමග සියක් ලක්‍ෂයක් මහරහතන් පිරිවරා සෝභිත වූ ගුණ ඇති සෝභිත නම් වූ මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ අසූරියන් බුදුබඳෙකින් අනූදහසක් හවුරුදු ආසිරි වළඳා වැඩහිඳ අලව් යකු සේ දැඩි වූ සුදර්‍ශන නම් යක්‍ෂරාජයා ද, සෝණ නම් දේවදත්තයා මෙහෙයූ ද්‍රෝණමුඛ නම් හස්තිරාජයා ආදී වූ බොහෝ සතුන් ද දමා නිවන්සෙත් දී වැඩවසන සේක. එ කල මාගේ ශ්‍රී මහා බෝධිසත්‍වයාණෝ කාශ්‍යප නම් බ්‍රාහ්මණ මානවක ව ත්‍රිවේදය දැන සධනී ව වසන්නාහු බුදුන් දැක සතුටු ව කෙළලක්‍ෂයක් ධන වියදන් කොට සඞ්ඝරාමයක් කරවා දන් දී ඒ පියදස්සී නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙවි බඹුන් කළ මේ තෙළෙස්වන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද එම කප දෙවන අන්තරකල්පයෙහි අත්‍ථදස්සි නම් බුදුරජාණෝ සෝභන නම් නුවර සාගර නම් නරපතිහුගේ සුදසුන් නම් අගබිසවුන් කුස පිළිසිඳ, දසමස් පුරා දෙව් බඹ පිරිස් මැද ගුවනින් බස්නා සත්රුවනක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී පුරස්ත්‍රීන් තිස්දහසක් පිරිවරා; දසදහසක් හවුරුදු රජකෙළි කෙළ විශාඛා නම් අගබිසවුන් සෙල නම් පුත්රුවන වැදූ දා අශ්වයානයෙන් රජ ය හැර ගොසින් එක් දා නවකෙළක් සෙන් සමග මහණ ව අටමසක් වීර්‍ය්‍යකොට සුවින්‍ධරා නම් නාගකන්‍යාව දුන් මධුපායාසය වළඳා සවස තෙපනස්රියන් විදුරසුන් නැගී සපු සිරිබෝ පිට ලා වැඩහිඳ බුදුසිරි ලදින් සසුන් නමැති මහාජම්බුවෘක්‍ෂ මූලයෙහි පැන නැගි ස්වර්‍ණාංකුර යුග්මයක් බඳු වූ ශාන්ත ය, උපශාන්ත ය යන අගසවු දෙදෙනා සමග නවකෙළක් පමණ මහරහතන් පිරිවරා ගුණගණ විභව අභය නම් මහතෙරකෙනෙකුන් අතින් අත්පා මෙහෙවිඳ අසූරියන් උස බුද්ධකායෙකින් යොදනක් තැන් දව රෑ සවණක් රසින් බබුළුවා හවුරුදු ලක්‍ෂයක් ආසිරිවළඳා තුන්ලොවට නගා ලූ ඒකප්‍රදීපයක් සේ දිලියෙන සේක. එ කල මාගේ ශ්‍රීමහාබෝධිසත්‍වයානෝ සුසිම නම් බ්‍රාහ්මණ මහාසාර ව සියලු සැපත් හැර වල් ගොස් පැවිදි ව ධ්‍යාන සුවයෙන් වසන දා බුදුන් කරා ගොස් බණ අසා සතුටු ව එකෙණෙහි ශක්‍රභවනයට නැගී මතැතෙකු දුටු කොබෝලීල අත්තක් සේ සියක් යොදුන් පරසතුරුක සලා පරසතු මල් ගෙනවුත් සියලු පර්‍ෂදට පෙනී “සාධු! මම ද මෙසේ ම බුදු ව දම් දෙසම්වා” යි අඞ්ගා මුළුසක්වළට වස්නා මහවැස්සක් සේ මල් වැසි වස්වා මහත් වූ මල් මඬුවක් මවා පරසතුමල් කූඩයක් බුදුන් සිරසට පුදා එදා ඒ අත්‍ථදස්සි නම් බුදුන් අතින් විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි සතුටු ව දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ තුදුස්වන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද එම කප තුන්වන අන්තරකල්පයෙහි ධම්මදස්සි නම් බුදුරජාණෝ සරණ නම් නුවර සරණ නම් නරේන්‍ද්‍රයාගේ සුනන්දා නම් අගබිසවුන් කුස මිණිරුවනක් සේ වැස වලාකඩෙකින් නිකුත් පුන් සඳමඬලක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී එක්ලක්‍ෂ විසිදහසක් වර යුවතීන් පිරිවරා අටදහසක් හවුරුදු රජදම් පුරා විචිකොලි නම් බිසව, පූර්‍ණවර්‍ධන නම් පුත්රුවන වැදූ දා, මැදයම් රෑ නාටක ස්ත්‍රීන්ගේ වික්‍රියා දැක වල් යෙමි යි සිතූ කෙනෙහි පින්බෙලෙන් වැඩහුන් රන්පහය පොළොවින් නැගී දෙවන හිරුමඬලක් සේ ගොස් බෝමැඩ කරා බට කල මහබඹහු දුන් අටපිරිකර දරා රන් පායෙන් බැස සිටිකල පුරස්ත්‍රීන් හා පිරිවර අඟනන් අඩගව්වක් තැන් ගොස් හුන් කල එම රන්පාය නැවත නැගී බොගෙයක් සේ බෝ මැඩ කරා ගොස් පිහිටි කල, කෙළලක්‍ෂයක් ඇමතිසෙන් සමග මහණව සත්දවසක් සැරිසරා එම අගබිසවුන් පිස දුන් මී කිරිබත් වළඳා තෙපනස් රියන් වජ්‍රාසනාරූඪ ව රත්කරව් සිරිබෝ පිටලා වැඩහිඳ තුන්ලෝතිලක වූ කෙලෙසුන් ගෙවා බුදු ව තමන්වහන්සේගේ ශ්‍රීපාද නමැති පද්මයෙහි වසන භෘඞ්ගරාජ යුග්මයක් වැනි වූ පදුම ය, ඵුස්සදේව ය යන අගසව් දෙදෙනා සමග කෙළලක්‍ෂයක් මහරහතන් පිරිවරා සුන්‍දර වූ නේත්‍ර ඇති සුනේත්‍ර නම් මහතෙර කෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ අසූරියන් උස බුද්ධකායෙකින් ලක්‍ෂයක් හවුරුදු ආසිරි වළඳා මුළුලෝ දුකින් මුදා වැඩවසන සේක. එ කල අප මහබෝසතාණෝ ශක්‍රදේවේන්‍ද්‍රව ඉපැද දෙදෙව්ලොව දෙවියන් පිරිවරා අවුත් දිව සුවඳ මලින් පුදා ඒ ධම්මදස්සි නම් බුදුන් අතින් විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ පසළොස්වන විවරණ මඟුල් පූජාව ලත්සේක.

තුබූ එක්සිය අටළොස්වන කපින් ශූන්‍ය කල්පයන් සූවිසි දෙනෙකු ගිය කල, මෙයට සිවු අනූවන සාර නම් කල්පයෙහි සිද්ධාර්ථ නම් බුදුරජාණකෙනෙක් වෙභාතික නම් නුවර උදේන නම් රජහුගේ සුඵස්සා නම් දේවීන් කුසින් සිතුමිණිරුවනක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී, අටසාළිස් දහසක් වරඟනන් පිරිවරා දස දහසක් හවුරුදු රජය කොට සෝමනස්සා නම් අගබිසවුන් නිරූපම වූ අනූපම නම් පුත්රුවන වැදූ දා රන්සිවිගෙන් මහබිනික්මන්කොට කෙළලක්‍ෂයක් සෙන් සමග මහණ ව දසමසක් දුෂ්කරින් දවස් යවා සුනේත්‍රා නම් බැමිණිය දුන් මධු පායාස ය වළඳා, සවස සතළිස්රියන් විදුරසුන් අරා කිණිහිරි සිරිබෝ පිට ලා වැඩහිඳ සව් කෙළෙසුන් නසා බුදු ව, සසුන් නමැති රුවන් ආකරයෙහි ජාතමිණිරුවන් සඟළක් වැනි වූ සම්බහුල ය, සුමිත්ත ය යන අගසව් දෙදෙනා සමග නව කෙළලක්‍ෂයක් රහතන් පිරිවරා නියත වූ රේවතී නම් මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙවිඳ සැටරියන් උස බුද්ධකායෙකින් ලක්‍ෂයක් හවුරුදු ආසිරි වළඳා ලෝකාර්ථ සාදන සේක. එ කල මාගේ ශ්‍රීමහාබෝධිසත්‍වයාණෝ මඞ්ගල නම් තාපස ව බුදුන් දුටු සතුටින් සෘද්ධියෙන් ගොස් සාර සියයක් ගවු උස ඇති මහ දඹගස සලා මහ දියකල සා දඹ ගෙණවුත් නව කෙළලක්‍ෂයක් රහතන් හා සමග ඒ සිද්ධාර්ථ නම් බුදුන් වළඳවා සිද්ධාර්ථ වූ විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙවිබඹුන් කළ මේ සොළොස් වන විවරණ මඟුල් පූජාව ලත්සේක.

තුබූ තෙයානූ කපින් අතුරෙහි එක් කපක් බුද්ධශූන්‍ය ව ගිය කල මෙයට දෙයානූවන මණ්ඩ නම් කල්පයෙහි තිස්ස ය, ඵුස්ස ය යන සර්‍වඥවරයෝ දෙදෙනෙක් උපන්නාහුය. එයින් තිස්ස නම් බුදුරජාණන් වහන්සේ, ඛේමා නම් නුවර ජනසන්‍දන නම් රජහුගේ පදුමා නම් අගබිසවුන් කුස පිළිසිඳ දසමස් පුරා සඳරැස් කලඹක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී, තෙතිස් දහසක් පුරඟනන් පිරිවරා සත්දහසක් හවුරුදු රජසිරි පුරා, සුභද්‍රා නම් අගබිසවුන් ලොකානන්‍ද වූ ආනන්‍ද නම් පුත්රුවන වැදූ දා, අශ්වයානාවක නැගී මහබිනික්මන්කොට සියක් ලක්‍ෂයක් හා සමග එක් දා මහණ ව අටමසක් කල් යවා වීරා නම් සිටුදුව දුන් මී කිරිබත් වළඳා අටසාළිස් රියන් විදුරසුන් නැගී පියා ගසක්මුල වැඩහිඳ කෙලෙසුන් නසා පියා බුදු ව සසුන් නමැති කල්පද්‍රැමයෙහි ජාත ශාඛායුග්මයක් වැනි වූ බ්‍රහ්මදෙවය, උදය ය යි යන අගසවු දෙදෙනා සමග සියක් ලක්‍ෂයක් මහරහතන් පිරිවරා අනගි වූ ගුණ ඇති සමග නම් මහ තෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ සැටරියන් ශ්‍රී ශරීරයෙකින් ලක්‍ෂයක් හවුරුදු ආසිරි වළඳා මොහඳුරු දුරුකරන සේක. එ කල මාගේ ශ්‍රීමහාබෝධිසත්‍වයෝ සුජාත නම් තවුස් ව බුදුන් දැක බණ අසා සතුටු ව ශක්‍ර පුරයට ගොස් දිව උයන් වැස යොදුනක් සා රන්කරඬුවෙකින් දිවමල් පුරා ගෙනවුත් බුදුන් පෙරට පුදා විසිතුරු මහ පියුමක් ද බුදුන් සිරසට මල්කුඩයක් සේ පුදා එදා ඒ තිස්ස නම් බුදුන් අතින් ද බුදුවන්නට නිස්සේ ය යි විවරණශ්‍රී ලදින් එ සඳ දසදහසක් සක්වළ දෙවිබඹුන් කළ මේ සතළොස්වන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද එම කප දෙවන අන්තරකල්පයෙහි ඵුස්ස නම් බුදුරජාණෝ - කසී නම් නුවර ජයසේන නම් රජහුගේ සිරීමා නම් අගබිසවුන් කුස පිළිසිඳ දසමස් පුරා දිව්‍යපුරයෙන් බස්නා දිවකුමරකු සේ බිහිව ක්‍රමයෙන් වැඩී තිස්දහසක් පුරඟනන් පිරිවරා දසදහසක් හවුරුදු රජසිරි විඳ කිසාගෝතමී නම් බිසවුන් නිරූපම වූ අනූපම නම්පුත්රුවන වැදූ දා මගුලැතුයානයෙන් වැඩ එක් දා ලක්‍ෂයක් ඇමතියන් හා සමග මහණව සමසක් දුෂ්කරක්‍රියා පුරා සිරිවඩ්ඪන නම් සිටුදුව දුන් මී කිරිපිඬු වළඳා අටතිස්රියන් විදුරසුන් නැගී මහ ඇඹලගසක් පිට දී වැඩහිඳ පස්මරුන් බිඳ බුදු ව සසුන් නමැති කනක ප්‍රාසාදයෙහි ජාත සිංහපඤ්ජරයුග්මයක් බඳු වූ සුරක්‍ෂිතය, ධම්මසේන ය යන අගසවු දෙදෙනා සමග කෙළක් පමණ මහසව්වන් පිරිවරා අභිය වූ සභිය නම් මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ අටපනස්රියන් බුදුබඳක් දරා අනූදහසක් හවුරුදු බුදුසිරි විඳ දේශනා රශ්මියෙන් විනෙයජන නමැති පද්මයන් ප්‍රබෝධකර වැඩවසන සේක. එකල අපගේ ශ්‍රීමහාබෝධිසත්‍වයෝ විජිතාවී නම් රජ ව, බුදුන්ට මහදන් දී රජය හැර මහණ ව තුන් පිටකය ධරා ධර්‍මකථික ව ප්‍රතිපත්ති පූජායෙන් පූජාකොට ඵුස්ස නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එ දා දසදහසක් සක්වළ දෙව්බඹුන් කළ මේ අටළොස්වන විවරණ මඟුල් පූජාව ලත් සේක.

මීට එකානූවන සාර නම් කල්පයෙහි මහාවිපස්සි නම් බුදුහු බන්‍ධුමතී නම් නුවර බන්‍ධුමතී නම් රජහුගේ බන්‍ධුමතී නම් අගබිසවුන් කුස පිළිසිඳ දසමස් පුරා දෙව් බඹ කැලන් මැද සරත් වළාකඩෙකින් නිකුත් පුන්සඳ සේ බිහි ව ක්‍රමයෙන් වැඩී එක්ලක්‍ෂ විසි දහසක් පුරඟනන් පිරිවරා අටදහසක් හවුරුදු ගිහිගෙයි වැස සුතනු නම් දේවීන් සමවත්කඳ නම් පුතනුවන් වැදූ දා රථයානයෙන් මහබිනික්මන්කොට සුවාසූදහසක් ඇමතියන් හා සමග එකදා මහණ ව අටමසක් දුෂ්කර ක්‍රියාකොට සූදසුන් නම් සිටුදුව දුන් මධුපායාසය වළඳා වෙසඟ මැදි පොහෝදා සවස තෙපනස්රියන් විදුරසුන් නැගී එවිගස පනස්රියන් කඳ ඇති ව, පනස්රියන් ශාඛා ඇතිව, සියක් රියන් උස ඇති ව, මුලපටන් අගදක්වා මලින් සැදී පැනනැගී, පලු සිරිබෝ පිටලා වැඩහිඳ කෙලෙසුන් නසා බුදුව බුද්ධශාසන නැමැති දිව්‍යපුරයෙහි ජාත රන්මාලිගා දෙකක් වැනි වූ බණ්ඩය, තිස්ස ය යන අගසව් දෙදෙනා සමග සුවාසූදහසක් මහසව්වන් පිරිවරා නිස්සොක වූ අසෝක නම් මහාතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ අවට අට විසිගවුවක් තැන් බුදුරැස් කඳින් බබුලුවා අසූරියන් බුද්ධකායකින් අසූදහසක් හවුරුදු වැඩහිඳ ලෝවැඩ කරන සේක. එ කල අපගේ ශ්‍රීමහාබෝධිසත්‍වයෝ අතුල නම් දිව්‍යනාගරාජ ව කෙළ ගණන් දිවනයින් පිරිවරා බුදුන් දැක සතුටු ව සඳමඬලක් සා සත්රුවන් මණ්ඩපයක් මවා ලා බුදුපාමොක් සඟපිරිස සතපා සත්දවසක් දිව්‍යදානය දී මිණිරැසින් දිලියෙන්නා වූ අනගි මිණිපළඟක් පුදා ඒ මහාවිපස්සි නම් බුදුන් අතින් ද, බුද්ධප්‍රාර්‍ථනා ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව්බඹුන් කළ මේ දසනවවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

එතැන් පටන් බුද්ධාලෝකයක් නැතිව ලොව මෝහාන්‍ධකාරව ශූන්‍ය කල්පයන් පනස්දෙනෙකුන් ගියකල මෙ යට එක් තිස්වන මණ්ඩ නම් කප සිඛිය, වෙස්සභූ ය යන බුද්ධදිවාකරයෝ දෙදෙනෙක් පහළ වූහ. ඉන් සිඛී නම් බුදුරජාණෝ අරුණවතී නම් නුවර අරුණවතී නම් රජහුගේ ප්‍රභාවතී නම් බිසවුන් කුස පිළිසිඳ චිත්‍රකූට පර්‍වතයෙන් බස්නා ජවනහංසරාජයක්හු සේ බිහි ව ක්‍රමයෙන් වැඩී සූවිසිදහසක් පුරඟනන් පිරිවරා සත්දහසක් හවුරුදු රජකෙළි කෙළ සබ්බකාම නම් බිසවුන් සිරිවිපුල අතුල නම් පුත්රුවන වැදූ දා ඇත්කඳ අරා වැඩ සැත්තෑදහසක් ඇමතියන් හා සමග මහණ ව අටමසක් දුෂ්කරක්‍රියා පුරා ප්‍රියදර්ශන නම් සිටුදුව දුන් මී කිරි බත වළඳා සූවිසි රියන් විදුරසුන් අරා එකෙණෙහි සියක්රියන් උසට පැන නැගී ඇටඹ සිරිබෝ පිට දී වැඩහිඳ, නිවන් දහම් පසක් කොට බුදුව බුද්ධශාසන ශ්‍රී නගරයෙහි ජාත ජයකේතු යුග්මයක් බඳු වූ අභිභූ ය, සම්භව ය යන අගසවු දෙදෙනා සමග සැත්තෑදහසක් පමණ මහසවුවන් පිරිවරා තමන් කෙරෙහි පෙම්කර වූ කෙම්කර නම් මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙවිඳ සියලඟ රැසින් දොළොස්ගව්වක් අවට දව රෑ බබුළුවා සැත්තෑරියන් උස බුදුබඳකින්, සැත්තෑ දහසක් හවුරුදු ආසිරි වළඳා, ලෝකාර්‍ථ සාදන සේක. එ කල අපගේ ශ්‍රීමහාබෝධිසත්‍වයෝ අරින්‍දම නම් රජ ව බුදුන් සඟුන් පවරා සත්දවසක් මහදන් දී අනර්‍ඝ වූ සළු දී මඟුලැතු සරහා පුදා, ඔහු බරට කප්පියභාණ්ඩ ද පුදා ඒ සිඛී නම් බුදුන් අතින් ද විවරණශ්‍රී ලදින් එ කෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ විසිවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද එම කප දෙවන අන්තරකල්පයෙහි, වෙස්සභූ නම් බුදුරජාණෝ - අනූපම නම් නුවර සුප්පවත්ත[3] නම් රජහුගේ සීලවතී නම් අගබිසවුන් කුස පිළිසිඳ දසමස්පුරා දෙව්බඹකැලන් මැද බ්‍රහ්මයාගේ ස්වර්‍ණජාලයට බිහි ව ක්‍රමයෙන් වැඩී රජලියන් තිස්දහසක් පිරිවරා දසදහසක් හවුරුදු රජසිරි විඳ සුමිත්‍රා[4] නම් දේවීන් සුප්‍රබුද්ධ නම් පුත්රුවන වැදූ දා, රන්සිවිගෙන් උයන්වැඩ, සැත්තෑ දහසක් පුරුෂයන් සමග එක්දා මහණව සමසක් දුෂ්කරක්‍රියා පුරා වෙසඟ පුණුපොහෝදා සිරිවඩ්ඪන නම් නාගාඞ්ගනාව දුන් මී කිරිබත් වළඳා සමසතළිස්රියන් විදුරසුන් නැගී එකෙණෙහි සියක්රියන්ව පැනනැගී සුපිපි සල්සිරිබෝ පිට දී වැඩහිඳ කෙලෙසුන් නසා බුදුව සසුන් නැමැති ගන්‍ධමාදනයෙහි ජාත චන්‍දන පාදප යුග්මයක් වැනි වූ සෝණ ය, උත්තර ය යන අගසවු දෙදෙනා සමග සැත්තෑදහසක් මහසව්වන් පිරිවරා ගුණගණ ශාන්ත වූ උපශාන්ත නම් මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ සැටරියන් උස බුද්ධ කායෙකින් සැටදහසක් හවුරුදු වැඩහිඳ දහම්වැසි වස්වා සසර ගිම් නිවන සේක. එ කල අප මහා බෝධිසත්‍වයෝ සුදසුන් නම් මහ රජ ව බුදුපාමොක් සඟපිරිස් පවරා මහදන් හා සිව්රු දී, බුදුන්ට අනර්‍ඝ ගඳකිළියක් කර වා අවට විහාර දහසක් කරවා පිළිගන්වා සියලු රජසැපත් පුදා සසුන් වැද මහණ ව තෙළෙස් ධුතගුණ සමාදන් ව අපිස් ගුණ පුරා අසාධාරණ වූ ප්‍රතිපත්ති පූජාවෙන් ඒ වෙස්සභූ නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව් බඹුන් කළ මේ එක්විසිවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

එ තැන් පටන් බුද්ධාලෝක විරහිත ව ලොව මොහාන්‍ධකාරයෙන් එකාන්‍ධකාරව කප් තිසක් ගියකල අපගේ මේ මහාභද්‍ර කල්පයෙහි කකුසඳ ය, කෝණාගමන ය, කාශ්‍යප ය, ගෞතම ය යන සතර දෙනෙකුන් වහන්සේ බුදුවූ සේක. අනාගතයෙහි මෛත්‍රෙ ය නම් බුදුහු ත් උපදනා සේක. මෙසේ පස් බුදුකෙනෙකුන්ගෙන් උතුම් වූ හෙයින් මේ කප මහාභද්‍ර නම් වි ය.

ඉන් කකුසඳ නම් බුදුරජාණන් වහන්සේ එ කල බ්‍රාහ්මණ වංශය උතුම් හෙයින් මේඛලා නම් නුවර අග්ගිදත්ත නම් පුරෝහිත බ්‍රාහ්මණයාණන්ගේ විශාඛා නම් බැමිණි දේවීන් කුස පිළිසිඳ දසමස් පුරා දියකඳෙකින් නිකුත් මිණිකඳක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී දෙවඟනන් බඳු වරඟනන් තිස්දහසක් පිරිවරා සාරදහසක් හවුරුදු ගිහිගෙයි වැස රුචි[5] නම් අග බැමිණිය විසිතුරුවූ උතුරු නම්[6] පුත්රුවන වැදූ දා රථයානයෙන් මහබිනික්මන් කොට සතළිස් දහසක් බමුණන් හා සමග එක්දා මහණව අටමසක් දුෂ්කරක්‍රියා පුරා වෙසඟමැදි පොහෝදා චන්‍ද්‍රවතී නම් බැමිණිය දුන් මීකිරිබත් වළඳා සූතිස්රියන් විදුරසුන් අරා එකෙණෙහි පැනනැගී සුපිපි සියක්රියන් මඟුල් මාරා තුරක් පිට දී,[7] පස්මරුන් බිඳ බුදුව සසුන් නැමැති අනවතප්තයෙහි දිලිසෙන රන්කළුසඟළක් වැනි වූ විධුර ය, සඤ්ජීව ය යන අගසවු දෙදෙන සමග සතළිස් දහසක් පමණ මහ සව්වන් පිරිවරා සුද්ධවූ බුද්ධි ඇති බුද්ධිජ නම් මහතෙර කෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ, සතළිස් රියන් උස බුද්ධ ශරීරයෙන් නිකුත් බ්‍යාමප්‍රභා මණ්ඩලයෙන් අවට සතළිස්ගව්වක් තැන් දැල්වූ රුවන් ඇගෑයක් සේ බබුළුවා සතළිස්දහසක් හවුරුදු ආසිරි වළඳා නරදේව නම් යක්‍ෂයා ආදී වූ බොහෝ සතුන් දමා අමාමහනිවන් පුරයෙහි පුරණසේක. එ කල අප මහබෝසතාණෝ ඛේම නම් නරපති ව බුදුන් හා සතළිස් දහසක් සඟපිරිස් පවරා මහදන් දී පා සිවුරු සතළිස් දහසක් හා අඳුන් ආදී වූ බෙහෙත් බඩු හා තවුස් පිරිකර දී බුදු සසුන් වැද මහණ ව ඒ කකුසඳ නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව්බඹුන් කළ මේ දෙවිසිවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද - මෙම කප දෙවන අන්තරකල්පයෙහි-කෝණාගමන නම් බුදුරජාණන් වහන්සේ සෝභාවතී නම් නුවර යඤ්ඤදත්ත නම් බ්‍රාහ්මණයාණන්ගේ උත්තරා නම් අගබැමිණිය කුස පිළිසිඳ දස මස් පුරා වැස දෙව්බඹකැලන් මැද සඳමඬලින් නිකුත් සඳ කුමරුවකු සේ බිහි ව ක්‍රමයෙන් වැඩී සොළොස්දහසක් පුරඟනන් පිරිවරා තුන්දහසක් හවුරුදු ගිහිගෙයි වැස රුචිගාත්‍රා නම් බැමිණිය සාර්‍ථවාහ නම් පුත්රුවන වැදූ දා ඇත්යානක් නැගී මහබිනික්මන් කොට තිස්දහසක් පුරුෂයන් හා සමග මහණ ව සමසක් වීර්‍ය්‍ය කොට අග්ගිසේන නම් බැමිණිය දුන් මීකිරිබත් වළඳා විසිරියන් විදුරසුන් අරා දිඹුල්සිරි බෝ පිට ලා වැඩහිඳ මරසෙන් බිඳ බුදු ව සසුන් නැමැති දිව්‍යභවනයට ලූ සෝපාන සඟළක් වැනි වූ භීය්‍යස ය,[8] උත්තර ය යන අගසවුදෙදෙනා සමග තිස්දහසක් මහසව්වන් පිරිවරා සොත්‍ථිජ නම් මහතෙරකෙනෙකුන් අතින් අත් පා මෙහෙවිඳ තිස් දහසක් හවුරුදු වැඩහිඳ දහම් වැසි වස්වන සේක. එ කල අප මහ බෝධිසත්‍වෙයෝ පර්‍වත නම් නරෙන්‍ද්‍ර ව ඒ බුදුන් සඟුන් පවරා වස් තුන් මස මහදන් දී සළු පිරිකර හා අනගි රුවන් මිරිවැඩිසඟළක් පුදා ඒ කෝණාගමන නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වළ දෙව්බඹුන් කළ මේ තෙවිසිවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

තව ද-එම කප තුන්වන අන්තර කල්පයෙහි කාශ්‍යප නම් බුදුහු බරණැස බ්‍රහ්මදත්ත නම් අගබමුණානන්ගේ ධනවතී නම් අග මෙහෙසුන් කුස පිළිසිඳ පිළිමිණිසෑගැබ රන්පිළිමයක් සේ වැස දස මස් පුරා කිරිමුහුදින් නිකුත් පුන්සඳක් සේ බිහි ව ක්‍රමයෙන් වැඩී අටසාළිස් දහසක් වරඟනන් පිරිවරා දෙදහසක් හවුරුදු ගිහි ගෙයි වැස සුනන්‍දාා නම් අගබැමිණි ය විජිතසේන නම් පුත් රුවන වැදූ දා සිත හා සමග ආකාශයට පැන නැගී සත්රුවනක් සේ නික්මුනු රන්පායෙන් වැඩ එම රන්පාය බෝධිය වටා බෝගෙයක් සේ බටකල පහයෙන් බැස බ්‍රහ්මයා දුන් අටපිරිකර ගෙන ස්ත්‍රීන් පායෙන් බැස දෙගව්වක් තැන් ගොස් හුන්කල කැටි ව ආ සියක් ලක්‍ෂයක් ඇමතියන් හා සමග එක්විට මහණ ව සත්දවසක් පදන් සැරිසරා සුනන්‍දා නම් බැමිණිය දුන් මී කිරිපිඬු වළඳා පසළොස් රියන් විදුරසුන් අරා නුග සිරිබෝ පිට ලා වැඩහිඳ මුළුලොව සදා බුදු ව සසුන් නැමැති ගුවනෙහි දිලිසෙන කනක ප්‍රාසාදයුග්මයක් වැනි වූ තිස්ස ය, භාරද්වාජ ය යන අගසවුදෙදෙනා සමග විසිදහසක් පමණ මහ සව්වන් පිරිවරා බුද්ධමිත්‍ර වූ[9] සර්වමිත්‍ර නම් මහ තෙර කෙණෙකුන් අතින් අත් පා මෙහෙ විඳ විසිරියන් බුද්ධ කායෙකින් විසිදහසක් හවුරුදු වැඩහිඳ නරදෙව නම් යක්ෂයා ආදී වූ බොහෝ සතුන් දමා අමාමහනිවන් දෙසන සේක. එකල අපගේ ශ්‍රී මහා බෝධිසත්වයෝ ජෝතිපාල නම් බමුණු ව බුදුන් කරා ගොස් සැපත් හැර මහණව තුන්පිටකය ගෙවා දුන විචිත්‍ර වූ ප්‍රතිපත්තියෙන් පූජා කොට ඒ කාශ්‍යප නම් බුදුන් අතින් ද විවරණ ශ්‍රී ලදින් එකෙණෙහි දසදහසක් සක්වල දෙව්බඹුන් කළ මේ සූවිසිවන විවරණ මඟුල් පූජාව ලත් සේක.

මෙසේ මාගේ බුදුහු තමන් සසර පළමුවන විවරණ ලදින් පාරමිතාභූමියෙහි ඇවිදිනා සමයෙහි හැම බුදුන් නො මරදවා දැක දානාදි පරිත්‍යාග කොට බුදු බව පතා විවරණ ලදින් ඒ ආශ්චර්යයෙහි සතුටුව දස දහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මයන් රැස්ව එකි එකී වාරයෙහි දෙලක්ෂ සතළිස්දහසක් පූජා බැගින් මෙසේ පස්පණස්[10] ලක්ෂ විසිදහසක් විවරණ මඟුල් පූජා ලත් හෙයිනුත් තවද මේ සූවිසි විවරණ පූජාව කොට තමන්වහන්සේ අතින් බණ අසා අපි අපි නිවන් දකුම්හ යි ප්‍රාර්ථනා කළා වූ සූවිසි අසඞ්ඛ්‍යයක් සතුන් සූවිසි දවසෙක වැඩ හිඳ වදාළ වූ ධර්‍මයෙන් අමාමහනිවන් දක්වා ඔවුන් විසින් කරණ ලද සූවිසි අසඞ්ඛ්‍යයක් ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

එසේ හෙයින් කියන ලදි.

“පූජා විසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථො,

අත්‍ථානු රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම‘මෙතං” යි.

මෙතෙකින් අට මහ ලෝවැඩ පිණිස කරණ ලද අර්හත් ගුණ වර්ණනා සංඛ්‍යාත මේ පූජාවලියෙහි අප බුදුන් සාමාන්‍ය ධර්මයෙන් ලද

විවරණ මඟුල් පුජා කථා නම් වූ තුන්වන පරිච්ඡෙදය නිමි.

4. බෝධිසම්භාර පූජා කථා

අප බුදුහු පාරමිතා බලයෙන් සුව විඳ ලද බෝධිසම්භාර පූජා කථා නම් කවරහ? යත්;

අප බුදුහු පමා බුදු ව[11] දහම් දෙසමි යි සමතිස් පෙරුම් පුරා ලොවුතුරා බුදු වූ සේක. සහම්පතී මහාබ්‍රහ්මයාගේ ආරාධනයෙන්ම දහම් දෙසූ සේක. ඇවැත් අනඳමහතෙරුන්වහන්සේ වැනි ධර්‍මභාණ්ඩාගාරිකයෝ පවා මහසුප් ස්ථවිරයන් හා පන්සියයක් [12]මහරහතුන්ගේ ආයාචනයෙන්ම ධර්මසඞ්ගායනා කළහ. යස නම් මහා ස්ථවිරයන් වැනියෝ පවා කාලාශෝක නම් වු මහරජහුගේ ආරාධනයෙන් ම දෙවන ධර්මසඞ්ගායනාව කළහ. බ්‍රහ්ම ලොකාගත මොග්ගලීපුත්තතිස්ස මහාස්ථවිරයන් වැනියෝ පවා ධර්මාශොක රජහුගේ ආරාධනයෙන්ම තෘතීය සඞ්ගායනා - ධර්මසඞ්ගණිකාදීන් ධර්‍මසඞ්ග්‍රහ කළහ. විසුද්ධ වූ බුද්ධීන් ප්‍රසිද්ධ වූ බුද්ධදත්ත නම් මහා අර්ථකථාචාරීන් වැනියෝ පවා වනවීනිස, බුද්ධවංශ, අභිධර්මාර්ථ සංග්‍රහ අර්ථ කථා සංඛ්‍යාත වූ ධර්මකථා උපදවන්නාහු සුමති නම් මහතෙරකෙනෙකුන් හා කණ්හදාසනම් අමාත්‍යයාගේ ආරාධනායෙන් ම කළහ. ප්‍රබුද්ධ බුද්ධීන් ප්‍රසිද්ධ වූ බුද්ධඝෝෂාචාරීන් වැනි විශුද්ධිඥන ලදුවෝ පවා සමන්තපාසාදිකා, අර්ථසාලිනී, සම්මොහවිනොදනී, සුත්තක, සුමඞ්ගලවිලාසිනී, ප්‍රපඤ්චසූදනී, සාරාර්ථප්‍රකාශිනි, මනෝරථපූරණී, සද්ධර්මජොතිකා යනාදී නොයෙක් අර්ථ කථාවන් උපදවන්නාහු - ශ්‍රීනිවාස නම් රජහු හා මහානිගම නම් අමාත්‍යයානන්ගේ ආරාධනයෙන්ම කළහ. වජ්‍රඥන ඇති හෙයින් විදුරු නම් ලද සැරියුත් මාහිමියන් වැනි එකශ්‍රැති බුද්ධපුත්‍රයෝ පවා සාරාර්ථදීපනී නම් වූ විනයටීකාර්ථකථාව ලක්‍ෂයක් ග්‍රන්ථ සංඛ්‍යාවෙකින් යුක්ත වූ ධර්මසංග්‍රහ කථා උපදවන්නාහු මහලුපරාක්‍රමබාහු නම් නරපතිහුගේ ආරාධනයෙන් ම කළහ.

දෙවප්‍රතිරාජ මහ ඇමතිතුමන්ගේ ආරාධනය

මේ ආදී පූර්‍වාචාර්‍ය්‍යවරයන්ගේ සද්ධර්මානුශාසනාව ආයාචන මුලිකවම වූ හෙයින් මෙතැන්හි වනාහි ශ්‍රී ලඞ්කාද්වීපයෙහි වාතගිරි පර්වතයෙහි වැස සද්ධර්‍මසාගරයෙහි වැරපමණින් පීනා සාරය දැක, සුගතෝවාද නමැති ජීවිත රක්‍ෂාකිරීමෙහි ඉතා අප්‍රමාද ව බොහෝ සතුන් බෝධිසත්‍ව පාරමිතාවෙහි වීර්‍ය්‍ය වඩවා බණකීමෙහි අග පැමිණ, තමන් කරා පැමිණි බොහෝ සත්පුරුෂයන් බුදුබැව්හි ප්‍රාර්ථනාකරවූ මයූරපාද පරිවේණාධිපති වූ බුද්ධපුත්‍රයන් විසින් ද්විතීය පරාක්‍රමබාහු නම් නරපතිහට ම අනුශාසනා පිණිස ද සිංහල භාෂාව දන්නා සත්පුරුෂයන්ට ලෝ වැඩ පිණිසද, එම රජහුගේ අග්‍රාමාත්‍ය වූ බුද්ධාභිලාෂී වූ දේවප්‍රතිරාජ නම් ශ්‍රද්ධා පුරුෂයාණන්ගේ ආරාධනයෙන් ඔහුගේම නමින් කළ ආරාමයෙහි දී උපදවන ලද මේ පූජාවලි නම් වූ ධර්මව්‍යාඛ්‍යාන කථාවෙහි ඇසු ඇසුවන් බුදු බැව්හි ලෝභකරවා පියන තරම් වූ මේ සතරවන බෝධිසම්භාර පූජා කථාවද සත්පුරුෂයන් විසින් සාවධාන ව ඇසිය යුතු.

ඒ මාගේ ස්වාමි දරුවෝ යට කී ක්‍රමයෙන් පළමුව තමන් ඒ දිවකුරු බුදුන් දුටුදා ම චතුෂ්පදික ගාථාවක් අසා අමාමහනිවන් පැමිණ එකෙණෙහි ම පැවිදි ව සාරලක්ෂයක් රහතන් හා සමග සංඝනවක ව වඩනා මහපින් ඇතිවද සංසාරයෙහි ගොඩ නො දන්නා අපමණ සතුන් දැක උපන් මහා කරුණාවෙන් අමාපාත්‍රයක් ගෙන අනුන්ට නොදී වීර්යය පුරුෂයකු උදකළාව හිඳ කන්නා සේ, මම අද අමාමහ නිවන් එකළාව නො වළඳමි, බොහෝ සතුන් හා සමඟ වළඳමි යි සිතා හස්තගත වූ සක්විතිරජයක් හරණා සේ සම්ප්‍රාප්ත වූ නිවන් රජය හැර පියා සත්වයන් පිණිස තමන් වහන්සේ විඳිනා සංසාර ව්‍යසනය නිවන් සුවයක් සේ සිතා සංසාර සාගරයට වැද - එතැන් පටන් සාරාසංඛ්‍ය කප්ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා සාගරයට වැද අළලන්නා වූ ඒ මාගේ ස්වාමිදරුවාණන් වහන්සේ නොයෙක් ජාතිශතසහස්‍රයෙහි නොයෙක් සතුන් දිළිඳු වෙසින් අවුත් සිට කුස අල්වා පෑ “මහා බුද්ධාංකුරය! ඉතා බඩදළ යම්හ. අපගේ සාදුක් නිවව” යි බැගෑ තෙපුල් කීකල “සාධු! මතු බුදුව මුළුලොව දුකින් මුදමි’ යි පත පතා සසජාතකාදියෙහි දන් දුන් ඇග මස් කියම් නම්, දෙලක්ෂ සතළිස්දහසක් යොදුන් ඝන කඩ බොල් මහ පොළොවෙහි පස් මද ම ය, මස් බොහෝ ම ය, තවද ජාතිකොටියෙහි යක්ෂරාක්‍ෂසාදින් දිළිඳු වෙස් මවා අවුත් සිට ස්වාමි‍! පිපාසිතයම්හ, මතු තෙපි බුදුව දහම්වැසි වස්වා සසර ගිම් නිවා නම් දැනු දු තොප ඇඟලේ පොවා අපගේ පවස්ගිම් නිවව නරලේ බොනු කැමැත්තම්හ යි යාච්ඥා කළ කල ඔවුන් මුහුණ සතුටින් බලා සියලග පවහෙව සිරුර ගස්වා දරුකිරිදෙන මවක සේ ඒ දිළිඳුන්ට දුන් ලේ කියම් නම්, සතරමහාසාගරයෙහි දිය මද ම ය, ලෙහෙ බොහෝ ම ය, තව ද නොයෙක් වාරයෙහි අන්‍ධයන් අවුත් සිට භවත! අපි ජාත්‍යන්‍ධයම්හ. ලෝකාලෝකයක් නොම දුටුම් හ. මතු තෙපි බුදු ඇස් ලදින් මොහඳුරු දුරුකරා නම් අපගේ ද අඳුරු දුරු කරව යි කියා ඇස් ඉල්වූ කල තමා වැදූ දරුවන්ගේ ආපදාවන්හි කම්පිත වන මවක සේ ඒ අන්‍ධයන්ගේ දුක් ඉවසාගත නොහී සිවි ජාතකාදියෙහි උපුටා දුන් ඇස් කියම් නම් ආකාශයෙහි තරු මද ම ය. බුදුඇස් පතා දුන් ඇස් බොහෝ ම ය, තව ද, අසංඛ්‍ය ගණන් ජාතියෙහි ඒ ඒ සත්‍වයන් අවුත් සිට “භවත! මතු බුදු ව මුළුලොවට ඊශ්වර වෙහි නම් අද තාගේ තෙලෙ ඉස අපට දන් දි පියව”යි නින්‍දිත වූ බස් කී වේලෙහි අතන්‍දිත ව ඔවුන් මුහුණ බලා සුරතල් කියන ප්‍රියපුත්‍රයන් සේ සිතා එකෙණෙහි ම මගුල් කඩුව ගෙන බුදුවෙමමැයි පත පතා කපා දීපු මිණිඔටුනුපලන් රජහිස් ගොඩ කියම් නම් එකලක්‍ෂ අටසැටදහසක් යොදුන් උස මෙරගල් මිටි ම ය. ඉස්ගොඩ උස් ම ය. තවද අපමණ ජාතියෙහි දී දිළිඳුන් අවුත් සිට “භවත! එලාවම්හ. අතින් මෙහෙ කොට ගත නොහෙම්හ, තෙපි මතු ලොවුතුරා බුදු ම මුළුලොව තොප දරු කරා නම්, දැන් තොපගේ තෙලෙ දරුවන් අපට ගැතිකොට දෙව”යි කියා යාච්ඥා කළ කල දෙබසක් නො කියා වෙස්සන්තර ජාතකාදියෙහි ප්‍රිය දරුවන් බැඳ දුන් වැල්ගොඩ කියම් නම් මෙරගගල් මිටි ම ය, වැල්ගොඩ උස් ම ය. තව ද ජාති කොටියෙහි යාචකයන් අවුත් සිට “හිමි! තෙපි මතු බුදුවන දා මිහිකත ලවා දෙස් කියවා නම්, බුදු සිරිකත පතා නම් කරුණා මෛත්‍රී නමැති කාන්තාවන් දෙදෙනාාහට වල්ලභ වේ නම්, දැන් තොපගේ සිරිකත වන් තෙලෙ රජකත අපට දෙව”යි ඉල්වූ කල දෙබසක් නො කියා තමන්ගේ ප්‍රිය කාන්තාවන් බුදුබව පත පතා බැඳ දීපු වැල්ගොඩ කියම් නම් එම මෙරගල් මිටි ම ය. වැල්ගොඩ උස් ම ය.

පාරමිතාවන් පිළිබඳ තොරතුරු

මෙසේ මාගේ ස්වාමිදරුවාණන් පිරූ පාරමිතා අපමණ ම ය. ප්‍රමාණ වස්තු ගෙන උපමා කරන්නෙම් නම්, දිය පොළොවට ගැඹුරු අනික් පැන්වලක් නැති හෙයිනුත්, පස්පොළොවට බොල් අනික් පස් ගොඩක් නැති හෙයිනුත්, තරුවට බොහෝ අනික් ගහන වස්තුවක් නැති හෙයිනුත්. මෙරගලට උස් අනික් පර්‍වතයක් නැති හෙයිනුත්, මේ වස්තු සතර බුදුන්ගේ පාරමිතාවට උපමා කළ බවක් මුත් පාරමිතාවෝ වනාහි උපමා නැත්තාහ. ඒ විශේෂයෙන් දැන ද මෙරගල හා සමුද්‍රය හා පොළොව හා ආකාශයෙහි තරු හා බුදුන්ගේ පාරමිතාවට හා උපමා කළ පරිදි යෙළ සියයක් යොදුන් ගරුඬරාජයා මහත් නියාව කියමි යි වටුවක්හට මහතැයි කීවා වැන්න. ගරුඬරාජයා වටුවාට මහතැ යි කියන්නේ සැබෑව යි කියා ගරුඬරාජයාගේ මහත සඟවාලිය නුහුනුයේ මැයි එසේ යෙින් මම ද බුදුන්ගේ පාරමිතාවන් සංක්‍ෂෙපයෙන් හඟවා කීමි. ඒ පාරමිතාවන් බොහෝ ලෙස් මේ විතරකින් අසන්නවුන්ට තව හඟවාලිය නුහුනුයේ මැයි.

එහි විස්තර කෙසේ ද? යත්;

යම් සේ සත්‍වෙකනෙක් දිවසින් නොදැක ත් නුවණැස්ලා[13] ඝනතරඥාන නමැති පහන නහා, දහම් නමැති ඇස දල්වා, විශේෂයෙන් බැලූ නම් දැනුත් මාගේ බුදුන්ගේ ඒ පාරමිතාවෝ හස්තාමලකයක් සේ විශේෂයෙන් පෙනෙන්නාහු මැ යි.

හේ මෙසේයි-

කපෙක් නම් බොහෝ කාලයෙක, යොදනක් උස කොටුවෙක අප පුරාලා හවුරුදු ලක්‍ෂයක් ගියකල අබ ඇටයක් බැගින් හරිතොත් කලකින් අබ ගෙවී යේල, කපෙක අවුරුදු නො ගෙවේ මැ යි, තව ද යොදනක් උස ගල්මුදුනෙකින් දහසක් හවුරුද්දෙන් නැගී යන්නා වූ සිද්ධයකුගේ දිවසළු [14]කණ ගැහැවීමෙන් ඒ පර්‍වතය, කලෙකින් ගෙවී උඳැටක් සා ව යේ නමුත් කපෙක හවුරුදු නො ගෙවේ මැ යි. මෙසේ වූ කපෙක් නම් බොහෝ වූ කාලයෙක මාගේ බුදුහු එසේ වූ කපින් සාරාසංඛ්‍යකප්ලක්‍ෂයක් කල් පාරමිතාවන් පිරූ සේක. තව ද අසංඛ්‍යයක් නමු දු ලුහුඬු බවක් මිස තෙමේ ඉතා දිග ය.

හේ මෙසේයි:-

දස දසයෙක් නම් සියයෙක, දස සියයෙක් නම් දහසෙක, සියක් දහසෙක් නම් ලක්‍ෂයෙක, සියක් ලක්‍ෂයක් නම් කෝටියෙක, කෝටිකෝටියෙක් නම් ප්‍රකෝටියෙක, ප්‍රකෝටිකෝටියෙක් නම් කෝටිප්‍රකෝටියෙක, කෝටිප්‍රකෝටි කෝටියෙක් නම් නහුතයෙක, නහුතකෝටියෙක් නම් නින්නහුතයෙක, නින්නහුත කෝටියෙක් නම් හුත නහුතයෙක, හුත නහුත කෝටියෙක් නම් කම්භයෙක, කම්භ කෝටියෙක් නම් විස්කම්භයෙක, විස්කම්භ කෝටියෙක් නම් අහහයෙක, අහහ කෝටියෙක් නම් අබ්බයෙක, අබ්බ කෝටියෙක් නම් අට්ටයෙක, අට්ට කෝටියෙක් නම් සොගන්‍ධිකයෙක, සොගන්‍ධික කෝටියෙක් නම් උප්පලයෙක, උප්පල කෝටියෙක් නම් කුමුදයෙක, කුමුද කෝටියෙක් නම් පුණ්ඩරීකයෙක, පුණ්ඩරීක කෝටියෙක් නම් පදුමයෙක, පදුම කෝටියෙක් නම් කතානයෙක, කථාන කෝටියෙක් නම් මහා කථානයෙක, මහා කථාන කෝටියෙක් නම් අසංඛ්‍යයක් නමි.

තව ද මේ ගණන කල් යවා කී හෙයින් බොහෝ දෙයෙකැයි සිතන බව මුත් අසඞ්ඛෙය්‍යක් නම් බොහෝනියාව ගණන් විශේෂ ය නොදත්තාහට විශේෂයෙන් නො දැනේ ම ය. මේ මිනිස්ලොව අසඞ්ඛ්‍යයට ලත් තබන වස්තුවක් කිසිතෙනකත් නැත. සතර මහා සාගරයෙහි දිය අසඞ්ඛ්‍යයක උලක්කුවට ත් මද ම ය. [15]මහපොළොව පස් පුවක් කඩ සා කොට කඩ කඩ කරතොත් අසඞ්ඛ්‍යයක් කැටියට මද ම ය. ආකාශයෙහි පෙනෙන තරු අසඞ්ඛ්‍යයට මද ම ය. මෙර ගල අබ ඇට සා බිඳුකර තොත් අසඞ්ඛ්‍යයක් බින්‍දුවට මද ම ය. එසේ හෙයින් අසඞ්ඛ්‍යයට පුඩුවක් දක්නා ගණනෙක් කිසිතැනෙකත් නැත් ම ය. සාගරයෙහි ගැඹුර ඇති හෙයින් ද, ප්‍රමාණ ඇති හෙයින් ද, ඝන රියන් පමණ අවකාශයෙහි පැන් සතරමුණක් ගන්නා හෙයින්ද, සාගරයෙහි දිය අසඞ්ඛ්‍යයක් උලක්කුවට මද ය යි යනු ගණිත බුද්ධිමතුන්ට විෂයම ය. පොළොව ද ප්‍රමාණවත් හෙයින් ද, ඝනරියන් වළ පස් දසපෑලක් ගන්නා හෙයින් මහ පොළොවෙහි පසුත් ගණිත ඤාණයට විෂය ම ය. තව ද රියනක් සා තැන අබ දැමුණෙක් ගන්නා හෙයිනුත් කුළුඳුලෙක් නම් අබ ඇට ලක්‍ෂයක් පමණ හෙයිනුත් මෙරගල ද ප්‍රමාණවත් හෙයිනුත් මේ නයින් මෙරගල අබ ඇට සා කර තුත් ඤාණයට විෂය ම ය. අසඞ්ඛ්‍යය වනාහි ඉතා බෙහෙව, මේ කාරණයෙන් අසඞ්ඛ්‍යයෙක් නම් බොහෝ සඞ්ඛ්‍යාවෙකැ යි දතයුතු.

මේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මෙසේ බොහෝ සතර අසඞ්ඛ්‍යයක් හා කප්ලක්‍ෂයක් කල් සසර ඇවිද පාරමිතා පිරූසේක. මේ දෑතුරෙහි එක්කපෙකට එක් වාරයෙක. එක් ලේ උලක්කුවක් ම ඉදින් දන් දුන් සේක් වී නමුත් සතර අසඞ්ඛ්‍යයක් හා ලක්‍ෂයක් ලේ උලක්කු ය. එසේ දුන් ලේ සුඟ මෙසේ වූ සගර දසයෙක දියටත් බෙහෙව. තව ද මාගේ ස්වාමිදරුවාණෝ කපෙකට එක පුවකක් සා මස්කැටියක් බැගින් ම ඉදින් දන්දුන් සේක් වී නමුත් සතර අසඞ්ඛ්‍යයක් හා ලක්‍ෂයක් පමණ මස්කැටි වෙයි. එසේ දුන් මස් සුඟ ම නුවණැසින් බැලූ කල මෙසේ වු පොළෝ දසයෙක පසටත් බෙහෙව තව ද මාගේ බුදුහු කපකට එකවාරයෙක. එක් ඇසක් බැගින් උදුරා දන් දුන් සේක් වී නමුත් ඒ සතර අසඞ්ඛ්‍යයක් හා ලක්‍ෂයක් ඇස් ය. එසේ දුන් ඇස් ම මෙසේ වූ චක්‍ෂුඃපථ ආකාශ දසයෙක තරුවටත් බෙහෙව. තව ද මාගේ බුදුහු කපෙකට එක් වාරයෙක, එක් ඉසක් බැගින් කපා දන් දුන් සේක් වී නමුත් ඒ අසඞ්ඛ්‍යයක් හා ලක්‍ෂයක් ඉස, ඒ ඉස්ගණන ම ඉදින් ගොඩකරතොත් මෙසේ වූ මෙරගල් දසයකටත් උස් ම ය.

තව ද මාගේ ස්වාමිදරුවාණෝ කපකට එකවාරයෙක ම අඹුදරුවන් බැඳ දුන්සේක් වී නමුත් සතර අසඞ්ඛ්‍යයක් හා ලක්‍ෂයක් ඒ වැල්ගණන ම සිතාජි කල මෙසේ වූ මෙරගල් දසයකටත් උස්ම ය. එසේ හෙයින් මාගේ ස්වාමිදරුවාණෝ කපකට එක ලේ උලක්කුවක් බැගින් ම දන් දුන්සේක් ද, කපකට එක් පුවකක් සා මස් කැටියක් බැගින් ම දන් දුන් සේක් ද, කපකට එක් ඇසක් බැගින් ම දන් දුන්සේක් ද, කපකට එක් ඉසක් බැගින් ම දන් දුන්සේක් ද, කපකට එක්වාරයෙක ම අඹු දරුවන් බැඳ දන් දුන්සේක් ද, එසේ නැත කපකට අපමණ වාරයෙක අපමණ කොට දන් දුන්සේක් ම ය. මේ මේ කාරණයෙන් සමුද්‍රය හා පොළොව හා තරු හා මෙරගල් හා මහා වස්තුවෙක් නො වෙයි. මාගේ බුදුන්ගේ පාරමිතාවෝ කලී නුවණැසින් දක්නාහට ඉතා මහත් වන්නාහු මැයි. මාගේ බුදුන් දන් දුන් ලේ හා මස් හා ඇස් හා කපා දුන් ඉස් හා පතා දුන් අඹුදරුවන් බැඳි වැල්ගොඩ හා හැම රැස්කොට නුවණැසින් විශේෂයෙන් බැළුවහොත් බඹලොව උස් තැනෙකැයි නො සිතමි මාගේ බුදුන්ගේ පාරමිතා ගොඩ ම උසැ යි සිතමි. මේ පාරමිතාවන්ගේ ගරුභාවයෙහි කථා ඇසූ කල ඤාණවන්තයෝ කාරණ ගිවිස පාර මනා ගරුත්‍වයෙහි පැහැද බුදුවීමෙහි වීර්‍ය්‍යවත් වෙති. හීන වූ වීර්‍ය්‍ය ඇති මන්‍දබුද්ධීන්ගේ සිත් කිහිරිදණ්ඩෙන් සැසි හුල ගලපිට හෙලූ කල ඊම තබා මොට වන්නා සේ බුදුවීමෙහි වීර්‍ය්‍ය පසුබස්සී, කෙසේ ද? යත් මුහුදදිය පරයා ඇඟ ලේ දුන මනාල, පොළොව පස් පරයා ඇඟ මස් දුන මනාල, මෙර පරයා සිය ඉස් දුන මනාල. තරු පරයා සිය ඇස් දුන මනාල, එම මෙර පරයා ප්‍රියවූ අඹු දරුවන් බැඳ දුන් වැල්ගොඩ සිටී ල යි. මෙතෙක් කල් දම් අසා බුදුවීම නම් බැරි දෙයෙකැ යි භීරුක වෙති. දැන් ඒ සමුද්‍රෙයහි දිය මද ල, පොළොව පස් මද ල, අහස තරු මද ල, මෙරගල් උස් නොවේ ල. පාරමිතාවෝ බොහෝ ල. මස් ගොඩ ලේ ගොඩ ඉස් ගොඩ ඇස් ගොඩ වැල්ගොඩ ඉතා උස් ල, බඹලොව පරයා සිටී ල, එතෙක් ලේ මස් ඇස් ඉස් අඹු දරුවන් අපි දන් දිය නොහේ ම ය, එසේ හෙයින් ඒ බුදුවීම නම් අපට බැරි ය යි හීන වීර්‍ය්‍ය වෙති, එයිත් ඒ සත්‍වයාගේ අඥාන භාව ය මැ යි.

කාරණා කිම? යත්;

එසේ සිතූ සත්‍වයා තම තමා සසර ඇවිදින සෙසුකල් හැර බුදුන් පෙරුම් පිරූ මේ දෑතුරෙහි ම තමා ත් අනුන්ට දුන් ලේ, බුදුන් දන් දුන් ලෙයට බොහෝ ම ය, තමා දීපු ඇඟ මස් ගොඩ බුදුන් දන් දුන් ඇඟ මසට බොහෝ ම ය, බුදුන් දන් දුන් ඉස්ගොඩට ඒ සත්‍වයා තමා දීපු ඉස් ගොඩ බොහෝ ම ය, බුදුන් දන් දුන් ඇසට ඒ සත්‍වයා දුන් ඇස් බොහෝ ම ය. බුදුන් දන් දුන් අඹු දරුවන්ට වඩා ඒ සත්‍වයා තමා දුන් අඹු දරුවන් බොහෝ ම ය, ඒ කෙසේ දිනී ද? පාරමිතා පිරී ද? යත් එසේ නැති; මාගේ ස්වාමිදරුවානෝ සාධු බුදුවෙම්ව යි පත පතා ඇස් ඉස් මස් ලේ අඹුදරුවන් දන් දුන් සේක. ඒ සත්‍වයා අනුන්ට අන්‍යායෙන් ඇස් ඉස් මස් ලේ අඹුදරුවන් බොහෝකොට දිනී.

කෙසේ දිනී ද? යත්;

මාගේ බුදුන් සාධු! සාධු!! බුදුවෙම්වා යි පත පතා ඇඟ ලේ දන්දෙන [16]අතුරෙහි, නිකම් සසර ඇවිදිනා වූ ඒ සත්‍වයා ජාති ජාතිවල දී යක්‍ෂ රාක්‍ෂසාදීහු ඔහු අල්වාගෙන හූරා බීපු ලේ ද, තව ද ඔහුගේ ම ජාති ජාතියෙහිදී ම ගණ්ඩ පිළිකාදීන් හැරපී ලේ ද, තව ද සැත් [17]හිරා ආදීන් [18]හැරපී ලේ ද, නුවණැසින් බැලූ කල ඔහු අන්‍යායෙන් මෙසේ දීපු ලේ බොහෝ ම ය, මාගේ බුදුන් දුන් ලේ මද ම ය, මෙසේ වූ අන්‍යායෙන් බොහෝ ලේ දී සසර ඇවිදිනා සත්වයා සාධු! බුදු වෙම්වා යි සිත් පහදවා මද ලෙයකුත් දන් දී බුදුවෙමැයි නොසිතීම ඒ සත්වයාගේ අඥානභාව ය ම ය. තව ද බුදුන්ගේ පාරමිතා කාලයෙහි ම සසර ඇවිදිනා එක් සත්වයෙකු ඒ ඒ ජාතියෙහි දී යක්‍ෂයන් රාක්‍ෂසයන් සිංහයන් දිවියන් වලසුන් කිඹුළුන් විසින් ඔහු අල්වාගෙන සල්ව සල්වා කාපු මස් ද, එසේ ම ජාති ජාතියෙහි නොයෙක් වරදෙහි අල්වාගෙන වධකයන් ඔහු ඇඟින් කපා ඔහුට ම කවාපු මස් ද, නුවණැසින් බැලුවහොත් බුදුන් දුන් ඇඟමස් මදැ ම ය. මෙසේ ඔහු අන්‍යායෙන් දුන් ඇඟ මස් බොහෝ මැ යි. මෙසේ සසර අන්‍යායෙන් බොහෝ කොට ඇඟ මස් දී ඇවිදිනා සත්‍වයා මද ඇඟ මසක් දන් දි සසර ඇවිද බුදු වෙම්මැ යි නො සිතීම ඔහුගේ ම අඥානභාවය මැ යි, තව ද එක් සත්වයකු නො එක් ජාති ජාතියෙහි, ඒ ඒ වරදෙහි අල්වාගෙන ඔහු හඬ ව හඬ වා කපා හුල ඇනපු ඉස් ද, නොයෙක් යාගයෙහි අකුසල් බෙලෙන් බිලි පුද දුන් ඉස් ද, යුද්ධාදියෙහි දී ඛඞ්ගප්‍රහාරයෙන් කැපුන් ලද ඉස් ද, රැස් වී නම් මාගේ බුදුන් දුන් ඉස් ගොඩමද ම ය, මෙසේ ඔහු අන්‍යායෙන් දුන් ඉස් ගොඩ බොහෝ ය, සසර අන්‍යායෙන් මෙසේ බොහෝ ඉස් කප කපා දී ඇවිදිනා ඒ සත්වයා බුදුවන්ට දෙන ඉස් බොහෝ ය යි සිතීම ඔහුගේ ම නුවණ නැති බව ය, තව ද මේ සසර ජාති ජාතියෙහිදී ම එක් සත්වයෙකු අල්වාගෙන ඔහු හඬ ව හඬ වා උදුරාපු ඇස් නුවණැසින් රැස්කොට බැලුවහොත් බුදුන් දන් දුන් ඇස්ම ද ම ය. මෙසේ ඔහු අන්‍යායෙන් දුන් ඇස් බොහෝය. මෙසේ අන්‍යායෙන් බොහෝ ඇස් දී සසර ඇවිදිනා සත්වයා ම ද ඇස් දෙන්නා වූ බුදු බැව්හි උපෙක්‍ෂාවීම ඔහුගේ ම නුනුවණෙහි මුල්බැස්ම ය, තව ද මේ අක්මුල් නැති සසර එක් සත්වයෙකුගේ අඹුදරුවන් ජාති ජාතියෙහි දී ඔහු හඬ හඬා සිටිය දී සතුරන් අල්වා බැඳගෙන ගිය වැල්ගොඩ බැලූ කල මාගේ බුදුහු අඹුදරුවන් බැඳ දුන් වැල්ගොඩ මිටි ම ය. ඔහු සතුරන්ට අඹුදරුවන් බැඳ දුන් වැල්ගොඩ උස් ම ය, මෙසේ සසර පිනක් නොකොට තමාගේ අඹු දරුවන් සතුරන්ට බොහෝ කොට දී ඇවිදිනා සත්වයා අඹු දරුවන් දන් දිය නොහෙව යි බුදුවීමෙහි උපෙක්‍ෂා වීම ඔහුගේ ම නුනුවණෙහි මුල් බැස්ම ය. මේ ධර්‍මකථාවෙහි දී ත් සමහරු වීර්‍ය්‍යවත් ව බුදුවීමෙහි ලෝභ ය කෙරෙති. තව ද සමහර කෙනෙක් කපෙක් නම් බොහෝ කලෙක් ද, අසඞ්ඛ්‍යයක් නමුත් බොහෝ සඞ්ඛ්‍යාවෙක්ල. බුදුවීමට යටත් වශයෙන් සාරාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් පෙරුම් පිරුවමනාල. ඒ ගෙවාගන්නේ කවර කලෙකද? පෙරුම් පුරන්නේ කවර කලෙක ද? බුදුවන්නේ කවර කලෙක දැ?යි දීර්‍ඝ කාල වශයෙන් තර්කී ව හීන වීර්‍ය්‍ය වෙති. ඒ සිතිවිල්ලත් සත්වයාගේ නුනුවණ මැයි.

හේ මෙසේ යි.[19]

බුදුහු අසුරු සණක් කලින් අසඞ්ඛ්‍ය ගණන් කප්වල ජාති දැක පියන සේක. එසේ සූක්‍ෂම වූ ඤාණගති ඇති බුදුහු එක් සත්වයෙකුගේ ජාති කෙළවර පරිනිර්‍වාණය වනතෙක් බලා ත් දැකපීම නොහෙන සේක් ම ය, තව ද එම සත්වයා අක් මුල් නැති සසර සුවදුකින් යෙදී පෙර සසර ඇවිදි කල් බලන සේක් වී නම් බුදුකෙනෙකුන්ගේ ආයු ගෙවී යෙයි. සසර ඔහු ඇවිදිනා කාලයෙහි මුලෙක් නො පැනෙයි, මෙසේ අසුරුසණක් කල්හි අසඞ්ඛ්‍ය ගණන් කප්වල ජාති දැක පියන බුදුන් තමන්ගේ ජීවිතාන්තය දක්වා බලාත් නිමවාගත නො හැකි ජාති ජාති සසර පෙර ඇවිද දුක්ගත් සත්‍වයා අසුරු සනෙකින් බුදුන් දක්නා සාරාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් [20]බොහෝ කලෙකැ‘යි සිතා බෝධිසත්‍ව පාරමිතාවෙහි හීන වීර්‍ය්‍ය ව උපෙක්‍ෂා වීම වැසි බා පිහිළී වන්නා සේ සත්‍වයාගේ නුනුවණෙහි මුල්මැස්ම මැයි, තව ද සංසාරයෙහි ඒ බුදුහු අෂ්ටලෝක ධර්‍මෙයහි යෙදී ඇවිදිනාසේක් වී ද, ඔබත් අන්‍යායෙන් ඇස් ඉස් මස් ලේ අඹු දරුවන් දන් දුන් සේක් ම වේ ද, බුදුවෙමි යි පත දුන්සේක් ම වේ ද; එසේ වන්නා වූ බුදුන් දුන් ඇස් ඉස් මස් ලේ අඹුදරුවෝ බොහෝ වෙත්දැයි යමෙක් ඉතින් සිතන්නාහු වූ නමුත් ඒ සිතිවිල්ල ත් සත්‍වයාගේ අඥානභාවය මැ යි. මාගේ බුදුහු පාරමිතා භූමියේ දී අන්‍යායෙන් ඉසකුත් ඇස කුත් මස කුත් ලෙය කුත් අඹුදරු කෙනෙකුත් තමන් වහන්සේ නො කැමති ව එක් කලෙක ත් නුදුන් සේක් ම ය. එහි කාරණ මණිචෝර ජාතක, සංඛපාල ජාතක, වානරින්‍ද ජාතක, කුම්භීල ජාතක, පඤ්චායුධ ජතක, නිග්‍රෝධ මෘග ජාතක, කර්කටක ජාතක, තුද්ධිල ජාතක, සුචිලෝම ජාතක, පුන්නක ජාතකාදියෙහි සෙයින් බලා දතයුතු.

තව ද සමහර සත්‍ව කෙනෙක් බුදුහු ඉතා තද සේක. තමා අතින් තමා හිස් කපා පිය හැකි ද? තමා ඇඟ මස් තමා කපා දීපිය හැකි ද? තමා ඇඟ ලේ තමා දී පිය හැකි ද? තමා ඇස් තමා උදුරා දී පිය හැකි ද? තමාගේ ප්‍රිය වූ අඹු දරුවන් අනුන්ට හඬ ව හඬ වා ගැතිකොට බැඳ දී පි ය හැකි ද? බෝධිසත්‍ව වූ කල ඉතා තදවුව මැනවැ යි එසේ අපට බැරි ය යි සිතන්නාහු වී නම්, එයිත් ඒ සත්‍වයාගේ නුනුවණ මැයි, මේ මුළුලොව මාගේ බුදුන්ට වඩා ඉසට ලෝභී ඇති කෙනෙකුත් නැත, ඇසට ලෝභි කෙනෙකුත් නැත, ඇඟ මසට ලෝභී කෙනෙකුත් නැත,! බුදුන්ට වඩා ඇඟ ලෙයට ප්‍රිය කෙනෙකුත් නැත, බෝධිසත්‍වවරයන්ට වඩා [21]අඹු දරුවන් කෙරෙහි දයාපර කෙනෙකුත් අනික් කිසිකෙනෙකුත් නැත් ම ය. කාරණා කිම? යත්;

සෙසු සත්වයෝ මේ වස්තු පසට ලෝභ කරන්නාහු! තමන් අස්ථිර බැව් නො දැන මෝහයෙන් ප්‍රේම කෙරෙති. බෝධිසත්‍වවරයෝ විදුරු සේ නුවණැත්තෙන් නුවණින් ම ප්‍රේම කෙරෙති.

කෙසේ ද? යත්;

මේ සසර නම් අවුල් හූවැටියක් සේ අක් මුල් නැත; ගුල නම් ලිහිණියන්ගේ කසල්ලක් සේ අවුල; පිදුරු කැරැල්ලක් සේ පිළිවෙලක් නැත්තේ ම ය; වගුන් ඇති වනයක් සේ භයඞ්කර ය, කිඹුළුන් ඇති ගඟක් සේ ශඞ්කා පර ය; සොරුන් ඇති මගක් සේ ළඟ වී ය නොහැක්ක; නයින් ඔත් තුඹසක් සේ සැක කර ය; මෙසේ සසර ඇවිද මතු බුදු ව මා සසරින් ගැලවෙනතෙක් මාගේ මේ ඉස ද; මාගේ මේ ඇස ද; මාගේ මේ ඇඟ මස් ද; මාගේ මේ ඇඟ ලේ ද; මාගේ මේ ප්‍රිය වූ අඹුදරුවන් ද අනික් සත්වයන්හට අන්‍යායෙන් නොදෙමි. තුණුරුවන් වැඳි අතින් අන්‍ය සත්වයකු නොවඳිනා සේක් සාධු! බුදුවෙමි යි පත පතා එක්වාරයෙක දීපු ඉසෙහි පිණින් මතු අන්‍යායෙන් අනුන් කපාගත නොහැක්කැ යි ඉසෙහි කළ ප්‍රේමයෙන් ම ඉස් දන් දුන් සේක. මෙසේ ම දන් දුන් ඇසට ජාති සහස්‍රෙයක රෝගත් නැත. උදුරාගන්නා සත්වයකුත් නැතැ යි ඇසෙහි කළ ප්‍රේමයෙන් ම ඇස් දන් දුන්සේක. තව ද ඇඟ මසුත් ප්‍රේමයෙන් ම දුන්සේක. ලේත් එසේ ම අනුන්ට අන්‍යායෙන් නො දෙමි යි සිතා ම ප්‍රේමයෙන් ම දුන් සේක. මාගේ ප්‍රිය වූ අඹුදරුවන් එක්වාරයෙක මා සිත් පහදවා දන් දුනිම් නම් අසඞ්ඛ්‍ය ගණන් ජාතිවල මා නො කැමති කරවා බැඳගෙන ගොස් මෙහෙ ගතහෙන එකද සත්ව කෙනෙක් නැත, එසේ කල උන්ට සුව වෙයි, සාන්ති වෙයි, නිර්‍භය වෙයි සිතා ප්‍රේමයෙන් ම අඹුදරුවනුත් දන් දුන්සේක; එසේ හෙයින් ම මේ මුළුලොව ම බෝධිසත්‍වවරයන්ට වඩා ආත්ම ප්‍රේම ඇත්තෝ නැත, ලොව ඔවුන්ට වඩා අඹු දරුවන් කෙරෙහිත් ප්‍රේම ඇති කෙනෙකුත් නැත්මැ යි, තවද සසර බුදුන් දන් දුන් ඇස් ඉස් මස් ආදිය මදනියාවටත්; සසර ඇවිදිනා සත්‍වයා අන්‍යායෙන් දුන් ඇස් ඉස් මස් ලේ අඹුදරුවන් බොහෝ නියාවටත් කාරණ කිම? යත් දැන් මේ කාලයෙහි අසවල් පුරුෂයා බුදු වෙමියි පතා ඉස්දී පී ය, ඇස් දී පී ය, මස් දී පී ය, ලෙහෙ දී පී ය, අඹුදරුවන් දී පී යයි ඇසීමෙක් දුර්ලභය. දීර්‍ඝකාල වශයෙන් රාශිභූත අවස්ථාවෙහි බොහෝ බව මුත් මේ ඉතා අමාරු ය.

දැන් අසවල් යුද්ධයෙහි දහස් ගණන් හිස් කපාපූහ. අසවල්හු ඇඟ මස් කිඹුල්ලු කැපූ ය. අසවල්හු ඇඟ ලේ යක්‍ෂ රාක්‍ෂසයෝ බීපූ ය. අසවල්හු හඬව හඬවා ඇස් උදුරා පූ ය. අසවල්හුගේ අඹුදරුවන් සතුරෝ බැඳගෙන ගියෝ ය යි කියා ඇසෙන දෑත් බොහෝ ම ය. දක්නා දෑත් බොහෝ ම ය. අන්‍යායෙන් දෙන දේ දැන් බොහෝ වූ වා සේ ම සසර ඇවිදිනා සත්‍වයා අන්‍යායෙන් දුන් ඉස් ඇස් මස් ලේ අඹුදරුවෝ බොහෝ ම ය යි දතයුතු. දැන් මද වූවා සේ ම පින් නිසා දුන් ඉස් ඇස් මස් ලේ අඹුදරුවෝ බොහෝ නොවෙත් ම ය යි දතයුතු. තව ද මේ ලෝකයෙහි සමහර සත්‍ව කෙනෙක් බුදුවන්නේ බොහෝ දුක් ගෙන ය; සසර බුදුන් ගත් දුක් බොහෝ ය යි භීරූක වෙත්. එයිත් අඥානභාව ය ම ය මාගේ බුදුහු සසර පාරමිතාභූමියෙහි පෙරුම් බලයෙන් දුකක් නොගත් සේක. සසර සුවයෙන් ම හුන්සේක. සියලු සතුන්ට ත් සුව ම දුන්සේක, තමන් වහන්සේත් කෙළවර නිවන් සුවම ලත් සේක. එසේ හෙයින් මම වනාහි මාගේ බුදුන් සසර පාරමිතා සුවෙන් සුවවිඳම බුදුවූහ යි කියමි. අධිකවූ වීර්‍ය්‍ය මුත් බෝධිසත්‍වවරයන්ට සසර අධික වූ දුක් නැත්තේ මැයි.

කෘතාධිකාර වූ බෝධිසත්‍වවරයන් සසර ලබන පූජා සුව තෙළෙසෙක් ඇත, සෙසු සත්‍වයන්ට ඒ සුවවිඳීම් තෙළෙස නැත, බෝධිසත්‍වවරයන්ගේ පාරමිතා බලයෙන් ලබන පූජා සුව තෙළෙස නම් කවරහ? යත්;

සංජීව ය, කාලසූත්‍ර ය, සඞ්ඝාත ය, රෞරව ය, මහාරෞරවය, තාප ය, ප්‍රතාප ය, අවීචි ය යන අටමහනරකයෙක් ඇත; ඒ අට ම දසදහසක් යොදුන් දිග හා පුළුල හා උස ඇත්තේ ය; නවයොදුන් බොල, යකබල ය. ගිනිරසින් සියක් යොදුනෙහි සිටියවුන් ඇස් පිපිරෙයි; නලෙක පුරාලූ තුඹසුණු සේ අතුරු නැති ව පැසෙන්නා වූ පව්කළ සත්‍වයෝ බොහෝහ; ඔවුන්ගේ ආයුකෙතෙක් ද? යත්; මේ මිනිස් ලොවින් පනස් අවුරුද්දෙක් නම් චාතුර්‍මහාරාජික දිව්‍ය ලෝකයට එක දවසෙක; එසේ වූ තිස් දවස් මස් කොට දොළොස් මස් අවුරුදු කොට, එහි උපන් දෙවියන්ට පන්සියයක් අවුරුද්දට ආයු ය. ඒ දෙවියන්ගේ පරමායු වූ පන්සියයක් අවුරුදු නම් පළමුවන නරකයෙන් එක් දවසෙක. ඒ නිසා දවසින් තිස් දවස් මස් කොට, දොළොස්මස් අවුරුදුකොට, පන්සියයක් අවුරුද්දට ආයු ය,

මේ ආදි වූ දිව්‍ය ආයුක්‍රමයෙන් ගෙන මනුෂ්‍ය ගණනායෙන් අට අට ගුණකරණයෙන් වඩ වඩා පරීක්‍ෂාකළ කල ඒ පළමුවන සංජීව නරකයෙහි හුනුවාවූ සත්‍වයෝ මනුෂ්‍ය ගණනායෙන් එක්ලක්‍ෂ දෙසැට දහසක් කෙළ වර්‍ෂ කාලයක් දුක් ගනිති. දෙවන නරකයෙහි හුනු සත්‍වකෙනෙක් දොළොස් ලක්‍ෂ සයානූදහසක් කෝටි වර්‍ෂ කාලයක් දුක් ගණිති, තුන්වන නරකයෙහි හුනු කෙනෙක් එක් කෝටි තුන්ලක්‍ෂ අට සැටදහස් කෝටි වර්‍ෂ කාලයක් දුක් ගනිති. සතරවන නරකයෙහි වැටී ගිය සත්‍වකෙනෙක් අෂ්ටකෝටි විසිනව ලක්‍ෂ සුසාළිස් දහස් කෝටි ප්‍රමාණ වර්‍ෂ කාලයක් දුක් ගනිති. පස්වන නරකයෙහි හුනු කෙනෙක් සූසැටකෝටි පන්තිස් ලක්‍ෂ දෙපනස් කෝටි ප්‍රමාණ වර්‍ෂ කාලයක් දුක්ගනිති, සවන නරකයෙහි හුනු වාහු පන්සිය තිස් කෝටි සුවාසූ ලක්‍ෂ සොළොස්දහස් කෝටි ප්‍රමාණ වර්‍ෂ කාලයක් දුක් ගනිති. සත්වන නරකයෙහි හුනුවාහු අට්ඨකල්පයක් දුක් ගනිති. පඤ්චානන්තරිය කර්‍ම ආදි වූ පව් කොට අටවන නරකයෙහි හුනු කෙනෙක් කල්පයක් කල් දුක් ගනිති. මෙසේ බොහෝ ආයු ඇති ඝොර වූ අටමහ නරකයට බෝධිසත්‍වවරයෝ නො වදනාහු ය. “බුදුවීම් නම් දුකැ”යි යන සත්‍වයෝ මේ නරකවල දුග්ගෙන ඇවිදිනාහු ය, මේ බුද්ධාංකුරයන්ගේ පළමුවන සුව විඳීම ය.

තව ද තුන්සක්වළක් එක් වූ තෙන ලෝකාන්තරික නම් නරකයෙක් ඇති. එහි උඩින් හිරු සඳු ආලෝකයකුත් නැත. යට අති සිහිල් වූ ක්‍ෂාරෝදකය වේ. එහි උපදනා ප්‍රේතයන් උස තුන්ගවු ය, ඉතා මහත් වූ නිය ය, [22]පරඬලාපත් සේ ශරීර ය. ඉස්මුදුනෙහි පිහිටි හිඳිකටුමුල සා මුඛය ය, කපක් කල් දුක් ගන්නා ආයුය, මේ නරක ය නම් අළු ගා මෙලෝ පරලෝ නැතැයි මිථ්‍යාදෘෂ්ටි ගත්තා වූ සත්‍වයන්ට ම නියත ව තිබී ආ නරකයෙක. මේ නරකයෙහි වැටී කපක් කල් දුක් නො ගත්තාවූ එක ද ස්ත්‍රීපුරුෂෂ කෙනෙකුත් නැති. මාගේ බුදුහු පාරමිතාබලයෙන් ම එක් කලෙකත් එහි නොවන් සේක. එසේ හෙයින් මේ ලෝකාන්තරික නම් නරකයට නො වැදීම බුද්ධාංකුරයන්ගේ දෙවන සුව විඳීම ය.

තව ද මේ ලෝකයෙහි නිජ්ඣාමතණ්හා නම් මහාප්‍රේතයෝනියෙක් ඇත; ඔහු ගසක ගත් ගිනි සේ දිලිසෙන ශරීර ඇත්තාහ. අසුරුසණකුත් නො රඳා ඒ ඒ තන්හි ඇවිද කපකුදු බත් නොලදින්, පැන් නො ලදින් අඬ අඬා ඇවිදිනාහ. එහි ඉපද දුක් නොගත්තා වූ එක ද සත්‍ව කෙනෙක් නැත. මාගේ බුදුහු පාරමිතා භූමියෙහි එක් කලෙකත් ඒ ප්‍රේතයෝනියෙහි නූපන්සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ තුන්වන සුව විඳීම ය.

තව ද මේ ලෝකයෙහි බුප්පිපාස නම් වූ ප්‍රේතයෝනියකුදු ඇත. ඔහු නවයොදුන් පමණ ඉස් ඇත්තාහ, විසිගවු දිග දිවි ඇත්තාහ; ඉතා උස් වූ ශරීර ඇත්තාහ; කේ ලොම් සා බඳ ඇත්තාහ; බුද්ධාන්තරයක් දක්වා බත් නො ලබන්නාහ; පැන් නො ලබන්නාහ; පැන් බොම්හ යි සාගරයට වත්කල දිය සිඳීගියා සේ පෙනී යෙයි. ඉදින් සෘද්ධිවන්ත කෙනෙක් පඤ්චමහාගඞ්ගාවෙහි දිය ඉන් එක් ප්‍රේතයෙකුගේ මුඛයෙහි එක්විට වත් කෙරෙත් නුමුත් රසදිව නො තෙමෙන තෙක් කයින් නැගී ගින්නෙන් දා භස්ම ව යෙයි. ඒ ප්‍රේතයෝනියෙහි ඉපද දුක් නොගත්තා වූ එකද සත්‍ව කෙනෙක් නැත; පාරමිතාබලයෙන් මාගේ බුදුහු එක්කලෙකත් මේ ප්‍රේතයෝනියෙහි දුක් නොගත් සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ සතරවන සුව විඳීම ය.

තව ද ගිනිගෙන දිලියෙන ආයුධ ගෙන ඔවුනොවුන් පැහැර මරා දුක්ගන්නා කාලකඤ්ජක නම් ප්‍රේත අසුරයෝනියකුදු ඇත. එහි ඉපිද දුක් නොගත්තා වූ එක ද සත්‍ව කෙනෙක් නැත. පාරමිතා බලයෙන් මාගේ බුදුහු එක්කලෙකත් එහි නූපන්සේක. එසේ හෙයින් බුද්ධාඞ්කුරයන්ගේ මේ පස්වන සුව විඳීම ය.

තව ද සකල සත්‍වයෝ ම උකුණු ව ඉනීකුණු ව මකුණු ව කුරු ව කුහුඹු ව සීනි ව පැණි ව පණුව ගැඩඋල් ව ගොම පණු ව මඩපණු ව මැසි ව මදුරු ව යනාදී වූ ක්‍ෂුද්‍රප්‍රාණී ව උපදනාහ. සසර මාගේ බුදුහු වටුකුරුල්ලන්ට කුඩා වූ ක්‍ෂුද්‍රප්‍රාණී ව නූපන්සේක. තව ද දාර පිඹුරු ආදි වූ ලාමක ප්‍රාණීන්වත් නූපන්සේක. එ හෙයින් මේ බුද්ධාඞ්කුරයන්ගේ සවන සුව විඳීම ය.

තව ද සංසාරගත වූ සත්‍වයෝ ජාතියෙන් අන්‍ධ ව ඉපද බොහෝ දුක් විඳිති, සමහරු ජාතියෙන් ගොළු ව ඉපද දුක් ගනිති; සමහරු ජාතියෙන් ම බිහිරි ව ඉපද කණීරසායන නො ලබති; සමහරු ජාතියෙන් ම කොර පිළු ව ඉපද වනුශා ඇවිද නිගා විඳිති. සමහරු ජාතියෙන් ම ස්වෙතකුෂ්ට ආදී පාප රෝග ඇති ව උපදිති; මාගේ බුදුහු එක් කලෙක ත් මෙසේ වූ පඤ්චෙන්‍ද්‍රිය වෛකල්‍යයෙන් ඉපද දුක් නො ගත් සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ සත්වන සුව විඳීම ය.[23]

තව ද මේ සසර සමහර පුරුෂයෝ පරදාරාදී වූ අකුසල් බෙලෙන් ශෑණුව ඉපද පියා සිය දහස් ගණන් වාරයෙහි නරක දුක් වැනි වූ ස්ත්‍රී[24] කර්‍මයෙන් දුක් විඳිති. මාගේ බුදුහු එක් කලෙකත් ස්ත්‍රී ව නූපන් සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ අටවන සුව විඳීම ය.

තව ද සමහර සත්‍වයෝ පරදාරාදී වූ අකුසල් බෙලෙන් නපුංසක ය- ඔපක්කමික ය - උභතොබ්‍යඤ්ජනක ය යි යනාදී පණ්ඩක ව සිය දහස් ගණන් ආත්මභාවයෙහි ඉපද ගෙයක් නැති ව, දොරක් නැති ව, අඹු කෙනෙකුත් නැති ව, දරු කෙනෙකුත් නැති ව, ගැහැණිත් නොව - පිරිමිත් නොව බොහෝ දුක් ගන්නාහ, මාගේ බුදුහු එක් කලෙකත් එසේ වූ හීනාත්මභාවයෙක නූපන් සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ නවවන සුව විඳීම ය.

තව ද මේ ලෝකයෙහි සමහරු මාතෘඝාතක ය, පීතෘඝාතක ය, අරහන්තඝාතක ය, ලොහිතුප්පාදක ය, සඞ්ඝ භේදක ය යි යන පඤ්චානන්තරිය කර්‍මයන් කොට කපක් මුළුල්ලෙහි නරක දුක් ගනිති. මාගේ බුදුහු එක් කලෙකත් එසේ ආනන්තරිය කර්‍මයන් නො කළසේක. එසේ හෙයින් මේ බුද්ධාංකුරයන්ගේ දස වන සුව විඳීම ය.

තව ද සමහර සත්‍වයෝ අරූතල අසංඥතලයෙහි ඉපද, ඒ ඒ කල උපන් බුදුන්ගේ ශ්‍රී නො ලබන්නාහ, මාගේ බුදුහු වනාහි එක් කලෙකත් අරූතල අසංඥතලයෙහි නො උපන්සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ එකොළොස් වන සුව විඳීම ය.

තව ද බුද්ධාංකුරයන් සසර බුදුන් දුට ත් මාර්‍ගඵල නොගන්නා හෙයින් අනාගාමීන් උපදනා සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි ත් ඉපැදීමක් නැත, රජකුලයෙහි ඇත්තවුන් ගොවිකුලයෙහි ඇත්තවුන්ගේ වාසයට නො වදනා සේ තමන්ට සේවක වූ සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි බඹුන් හා එක් ව නො ඉපදීම බුද්ධාංකුරයන්ගේ මේ දොළොස් වන සුව විඳීම ය.

තව ද සමහර සත්‍වයෝ අකුසල් බෙලෙන් මෙලෝ පරලෝ නැතැ යි ගන්නා නියත මිත්‍යාදෘෂ්ටි කුලයෙහි ඉපද සත්පුරුෂ මාර්‍ගයන් පානවුන් නැත්තෙන්, මෙලෝ පරලෝ නැතැ යි දෘෂ්ටි ගෙන කාලාන්‍ධකාරයෙක ගමන්[25] ගත්තවුන් සේ අකුසලමාර්‍ගයෙහි ගොස් අපාගත වෙති. මාගේ බුදුහු දීපඞ්කර පාදමූලයෙහි දී විවරණයෙහි ලද පටන් ගෙන මේ සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂාන්තරයෙහි එක් ජාතියෙකත් එසේ වූ නියත මිථ්‍යාදෘෂ්ටි කුලයෙක නූපන් සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ තෙළෙස් වන සුව විඳීම ය.

මෙසේ මාගේ බුදුහු මේ නරකාදි තේරස අභව්‍යස්ථානයෙහි නූපන් හෙයිනුත් එහි දුක් නොගත් හෙයිනුත් සසර අන්‍යායයෙන් ඇස් ඉස් මස් ලේ අඹු දරුවන් කිසි කෙනෙකුන්ටත් නො කැමති කරවා නුදුන් හෙයිනුත් කිසියම් තෙනක චුල්ලනන්‍දිය ජාතකාදියෙහි සේ පීඩාවක් ජීවිතහරණයක් වූ තෙනෙක් ඇති නමුත්, ඒ සියල්ල ද පාරමිතා කොට්ඨාසයෙක අන්තර්ගත වූ හෙයිනුත් ඒ සියල්ල ම පරිත්‍යාගයෙන් සිත පහදවා ත්‍රිවිධ වූ සන්තෝෂ නො වරදවා ම නොමද කොට දන් දුන් හෙයිනුත් දුන් දනෙහි නිස්සෝකී වූ හෙයිනුත් සසරත් මෙසේ සුඛයෙන් ම හුන්සේක. බුදු ව සියලු සතුන්ටත් සුවම දුන් සේක.

තව ද දීපඞ්කර ප්‍රණිධියෙහි දී විවරණ ලත්දා ම කරුණා මෛත්‍රී නමැති අඞ්ගනාවන් දෙදෙනා තමන් වහන්සේගේ සිත් නමැති ගෘහයෙහි වස්වාගෙන දවසෙකත් ඔවුන් දෙදෙනා අත් නොහළ සේක. එ දවස් ම මෙ තෙමේ බොහෝ දවස් අත් නොහැර ආවා වූ මා දැන් අත්වුනා පියා කරුණා මෛත්‍රී දෙ අඹුවන් කෙරෙහි අභිනවයෙන් පෙම් කෙරෙයි කියා සපත්නිරෝෂයෙන් දිලිහී ඔහු වසන ආසන්නයෙහි දු නො වෙසෙමි යි දුරුව ගියා සේ වස්තුතෘෂ්ණා නමැති පාපී වූ ස්ත්‍රිය එක් කලෙකත් ඔබ කරා නො පැමිණි හෙයිනුත් ඔබ ඈට ස්නේහයක් නො කළ හෙයිනුත් අසා ධාරණ සුවයෙන් ම හුන්සේක.

එයින් කීහ :

දෙහීති වත්‍ථුමසුකං ගදිතොත්‍ථිකෙහි

නාලං කථෙතුමිහ නත්‍ථි න දෙමි චාති,

චිත්තෙ මහාකරුණයා පහටාවකාසා

දුරඤ්ජගාම විය තස්සහි වත්‍ථු තණ්හා” යි.

තව ද අවශේෂ වූ සත්‍වයෝ දුඃඛ සහගත චිත්තයාගෙන් මහත් වූ දුක් විඳිනාහුම ය, මාගේ බුදුහු වනාහි දුක්ඛයටම දුක් දුන් බවක් මිස ඔහුගෙන් [26]පීඩාවක් නොවුන්සේක. කෙසේ නො වුන් සේක්ද? ලෝකයෙහි සතුරන් ඇති සතුන් ගෙයක් දොරක් නැති ව ඔබිනොබ වල කොල ඇවිදිමින් හිඳිනා කල තමහට ඔවුන් විසින් පීඩාවක් කොට ලිය නො හැක්කා සේ මාගේ බුදුහු සසර නො එක් ජාතිවල ඉස් දෙන කල ඇස් දෙන කල මස් දෙන කල ඉතා මහත් වූ දුක්ඛ වේදනා නමැති සතුරා තමන් වහන්සේ කරා පැමිණ මහත් වූ දුක්ඛ වේදනාවන් උපදවන්නට පටන් ගත් කල්හි දානයෙන් පැන නැංගා වූ මහත් වූ ප්‍රීති නමැති ඔබගේ මහා යෝධයා ඔහු ලුහුබැඳ දුර ස්ථානයෙහි ලයි. නැවත ඔහු ආ කල්හි නැවත නැවත ද දුරු කෙරෙයි. මෙසේ මේ සාරාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි තමන් වහන්සේ කම් සේ නැති ව ඔබ බොව යාමෙන් ඊමෙන් දුක් ගන්නා වූ දුක්ඛයා ඔබට දුක්ඛයක් දි ලිය නීහුනු යේ ම ය යි දතයුතු.

එයින් කීහ:

“ආනීයතෙ නීසිත සත්‍ථ නීපාතනෙන

නික්කඩ්ඪතෙච මුහුදාන භවාය රත්‍යා,

එවං පුනප්පුන ගතා ගත වෙගබින්න

දුක්ඛං න තස්ස හදයං වත පීළයිත්‍ථ” යි.

මේ ආදී කාරණයෙන් මාගේ බුදුහු සුවවිඳ ම බුදුවූවාහු නම් වන සේක; තව ද සංවතී ය, සංවතීස්ථායී ය, විවතී ය, විවතීස්ථායි ය යි මහා කල්පයා ගේ සතර භාගයෙන් සියලු සත්‍වයෝ පළමුව ම කී තුන් භාගයෙහි අපරාපර්‍ය්‍ය වෙද්‍යකර්‍මයාගේ බලයෙන් ඒකාන්ත සුව විඳිනාහ, විවතීස්ථායි නම් වූ අටගෙන සිටිනා අසංඛ්‍ය කල්ප වන බැවින් දුක්ඛ කොට්ඨාසය ම බොහෝ කොට විඳිනාහ. එසේ හෙයින් සංසාරගත සත්‍වයාට මහා කල්පයාගේ අටවන භාගයෙන් සත් භාගයෙක් ඒකාන්ත සුව විඳීම වෙයි. සුරු වූ එක් භාගයෙක ඒකාන්ත දුක් විඳීම වෙයි. බෝධිසත්‍වවරයෝ ඒ අටභාගයෙහි ම කල්පයාගෙන් ඒකාන්ත සුව විඳිනාහු ය. මෙසේ වූ සුව විඳීම ද අවශේෂ වූ සත්‍වයන්ට නැතැ යි දතයුතු. තව ද තුන් තොටක් ඇති මහත් වූ ගඟෙක බැස දිය කපා පිහිනන්නා වූ පුරුෂයෙක් මත්තෙහි තොටින් නැගෙමි යි වීර්‍ය්‍යකොට පිහිනනුයේ වී නම් එ ම තොටින් හෝ නැගෙයි. එ තොට වරදවාපු යේ වී නම් දෙවන තොටින් හෝ නැගෙයි. එ තොට ත් වරදවාපු යේ වී නම් තුන් වැනි තොටින් නැගේ ම ය. මුහුදු බත් නොවේ යැ යි. ඔහු සෙයින් ම බුදු වෙම්ව යි ප්‍රාර්ථනා කළා වූ සත්‍වයෝ ද අධික වූ වීර්‍ය්‍ය ඇත්තාහු ලොව්තුරු බුදුබව සාදා ගනිති. මධ්‍යම වූ වීර්‍ය්‍ය ඇත්තාහු පසේ බුදුබව සාදා ගනිති. කනිෂ්ට වූ වීර්‍ය්‍ය ඇත්තාහු ශ්‍රාවක බෝධිය සාදාගනිත් ම ය. සංසාර සාගරයට බත් නොවෙත් මැ යි.

එසේ හෙයින් මේ ලෝකයෙහි සියලු ප්‍රාර්ථනාවෙන් ම බුදුවෙම් ව යි කරන්නා වූ ප්‍රාර්ථනාව නම්, සියලු ප්‍රාර්ථනා ම එහි අන්තර්ගත වන බැවින් බුදුවීමෙහි වීර්‍ය්‍ය ඇත්තාහට ද නැත්තාහට ද උතුම් වූ ප්‍රාර්ථනාවෙක් ම ය. එසේ හෙයින් බුදුබැව් ප්‍රාර්ථනා කරන්නා වූ සත්‍වයෝ සිතු යම් ශාඛාවකට පැන සිත් සේ පල්ලව ඵලානුභව කළ හැකි සෙයින් රුක් මුදුන් අත්තට නැගෙන ශාඛා මෘගරාජයන් වැනියාහ. තව ද ඔහු එක් බන්‍ධනයෙන් සර්‍වාඞ්ග බන්‍ධනය කළා නම් වන හෙයින් ග්‍රීවාබන්‍ධනය සාදන්නා වූ ඤාණමල්ලවයන් වැනියහ. තව ද සිතු සිතූ කාලයෙක ඉච්ඡානුරූප වූ සම්පත්ති දායක හෙයින් චින්තාමානික්‍ය රත්නයට ම අත දිගුකරන්නන් වැනියහ. තව ද බුදුවෙම්වා යි පතනුවෝ ඉච්ඡානුරූප වස්ත්‍රාභරණයන් දෙන හෙයින් කල්පද්‍රැමයට නැගෙන්නවුන් වැනියහ. තව ද ඉච්ඡානුරූප වූ දියෙහි ගොඩෙහි නන් සුවඳ මල් පැලඳීම් පිලුවන් සේ දැන මංජුසක නම් දිව්‍ය වෘක්‍ෂයට නැගෙන්නා වූ දිව්‍ය පුත්‍රයන් වැනියහ. තව ද එක් ශරීරයෙන් තමන් කැමති කැමති වර්‍ණයෙකින් සුව විඳින්නා වූ අනන්ත වර්‍ණ දිව්‍යරාජයන්ගේ සම්පත් ප්‍රාර්ථනා කරන්නවුන් වැනියහ. තව ද කැමති කැමති සම්පත් එක් මුඛයකින් දෙන ‍හෙයින් සුරභිධෙනු මුඛයට දොහොත් දිගු කරන ධනාර්ථීන් වැනියහ. මේ ආදි නොයෙක් කාරණයෙන් සත්පුරුෂ වූ ජනයන් විසින් බුද්ධ ප්‍රාර්ථනාව උත්තම ප්‍රාර්ථනාවෙ කැ යි දැන, බුදු බැව් පතා තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් සාදා සංසාර සාගරයෙන් ගොඩනැංග යුතු.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ සසර ඇවිදිනාසේක් තමන්වහන්සේගේ පාරමිතා බලයෙන් ම මෙසේ වූ බෝධිසම්භාර පූජාවන් තෙළෙස් දෙනෙකු ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

“පූජා විසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලෝක නාථො,

අත්‍ථානුරූපං අරහන්ති ලොක‍ෙ

තස්මා ජිනො අරහති නාම මෙතං” යි.

මෙතෙකින් අටමහ ලෝවැඩ පිණිස කරන ලද අර්හත් ගුණවර්ණනා සඞ්ඛ්‍යාත මේ පූජාවලියෙහි අප බුදුන් පාරමිතා බෙලෙන් ලද

බෝධිසම්භාර පූජාකථා නම් වූ සතරවන පරිච්ඡේදය නිමි.

5. පළමුවන ජාතිභේද පූජාකථා

එම ජාතිවලදී බුදුන් පිදූ පරිදි

තව ද අප බුදුන් සංසාරගත ව ලද පළමුවන ජාතිභේද පූජාකථා නම් කවරහ? යත්;

ස්වාමිදරුවන්ගේ සද්ධර්‍ම සාගරයට වැද නොයෙක් අද්භූත ධර්‍මයන් බලා ඇවිදිනා වූ මයූරපාදපරිවෙණාධිපති සුගතො රසයන් විසින් ඔබ සංසාරයෙහිදී සූවිසි වාරයෙක සූවිසි බුදුකෙනෙකුන් නො වරදවා දැක, සූවිසු මහා සන්තෝෂයෙකින් යෙදී, සූවිසි මහා දානයක් දී, සූවිසි මහා ප්‍රාර්ථනාවක් කොට, සූවිසි බුදු මුඛයකින් සූවිසි මහා විවරණ ලදින්, සූවිසි දිව්‍ය පූජාවක් ලදින්, සූවිසිමණ්ඩලයක දෙවියන් ලවා සාධුකාර දෙවා, තමන්ගේ බුදුසිරි දැකුම්හ යි තුඩ තුඩ ප්‍රාර්ථනා කරවාපූ මහාවීරපුරුෂ මහිමයක් හා තව ද තමන් ලොවුතුරා බුදුවූ දවස් පෑළ සක්වළ පටන් බෝමැඩ දක්වා පුළුල සූවිසි යොදනෙක්හි හිවී ගැවසී දිවූ මරසෙනඟක් බිඳ පළවාපු නිර්භීතභාවයක් හා, තව ද යමාමහ පෙලහර කරන දවස් සූවිසි යොදුන් අයම් විතර තන්හි හිවී ගැවසී සිටි මහ පිරිසක් ලවා තුඩ තුඩ බුදුවෙම්ව යි ප්‍රාර්ථනා කරවාපු ප්‍රාතිහාර්‍ය්‍ය මහිමයක් හා තව ද සූවිසි දවසෙක සූවිසි තැනක වැඩහිඳ, සූවිසි දේශනාවක් කොට, සූවිසි අසංඛ්‍යයක් ප්‍රාණීන් සෝවාන් කෙරෙමින්, සූවිසි අසංඛ්‍යයක් ප්‍රාණීන් සැදැගැමි කෙරෙමින්, සූවිසි අසංඛ්‍යයක් ප්‍රාණින් අනගැමි කෙරෙමින් සූවිසි අසංඛ්‍යයක් ප්‍රාණීන් අමාමහ නිවන් දක්වමින් සත්‍වසාන්ති කෙරෙමින් ලෝවැඩ කළා වු මහාබුද්ධ මහිමයක් හා තව ද සෝණනන්‍ද ජාතකයෙහි සෝණ නම් මහ තවුස් ව වදාළ බණින් සූවිසි අක්‍ෂෞහිණි ඒ සා මහසෙනගක් මොහොතක් කලකින් පන්සිල් ගන්වාපු චිත්‍ර කථික වාක්ලීලාවක් හා තව ද දිව්‍යඥානයට ද අවිෂය වූ අභිධර්‍මයට බැස සූවිසි උපාදානරූපයන් හා සූවිසි ප්‍රත්‍යයන් ද යනාදීවූ ධර්‍මයන් වෙන වෙන දැක්වූ බුද්ධඥානයක් හා තව ද බුදු වූ දවස් පටන් දවස දවස සූවිසි කෙළ ලක්‍ෂයක් බැගින් ඵලසමවතින් හා සූවිසි කෙළලක්‍ෂයක් මහා කරුණා සමාපත්ති සුව වින්දා වූ අප්‍රමාද භාවයක් හා තව ද සූවිසි බුදුන්ගේ මහිම වෙන වෙන දක්වාපු තුන් කල් දන්නා [27]ත්‍රිවිද්‍යා මහිමයක් හා, මෙසේ අද්භූත වූ සූවිසි මහා ධර්‍ම කෙනෙකුන් දැක ඔබ කෙරෙහි උපන් මහාසන්තෝෂයෙන් උදාර වූ ශ්‍රද්ධාවෙන් අධික වූ, බුද්ධ ප්‍රේමයෙන් දහම් මී බී කුල්මත් වූවාහු සූවිසි දහසක් ග්‍රන්ථ සංඛ්‍යාවෙකින් පූජාවලී නම් වු ධර්‍මව්‍යාඛ්‍යාන කථාවකින් බුදුන්ට ස්තුති පූජාවක් කරන්නාහු, මේ ජාතිභේද පූජා පරිච්ඡේදයට ප්‍රාරම්භ කරම්හ. සත්පුරුෂයන් විසින් සාවධානව ඇසිය යුතු.

මාගේ බුදුහු තමන් [28]ලෙහෙන ව උපන් ජාති ය, වටු ව, උපන් ජාති ය, කුරුළු ව උපන් ජාති ය, ගිරා ව උපන් ජාති ය, කෙවිලි ව උපන් ජාති ය, කෑර ව උපන් ජාති ය, පරෙවි ව උපන් ජාති ය, කපුටු ව[29] උපන් ජාති ය. දියකා ව උපන් ජාති ය, උකුසු ව උපන් ජාති ය, ලිහිණි ව උපන් ජාති ය, කොක් ව උපන් ජාති ය, කකුළු ව උපන් ජාති ය, කිඳුරු ව උපන් ජාති ය, ගුරුළු ව උපන් ජාති ය, හංස ව උපන් ජාති ය, මොනර ව උපන් ජාති ය, මණ්ඩුක ව උපන් ජාති ය, සුනඛ ව උපන් ජාති ය, ජම්බුක ව උපන් ජාති ය, මූෂික ව උපන් ජාති ය, ගෝධ ව උපන් ජාති ය, සා ව උපන් ජාති ය, මත්ස්‍ය ව උපන් ජාති ය, නාග ව උපන් ජාති ය, වඳුරු ව උපන් ජාති ය, හූරු ව උපන් ජාති ය, මුව ව උපන් ජාති ය, මී ගොන් ව උපන් ජාති ය, හෙලගොන් ව උපන් ජාති ය, අස් ව උපන් ජාති ය, ඇත් ව උපන් ජාති ය, සිංහ ව උපන් ජාති ය, චණ්ඩාල ව උපන් ජාති ය, නාටක ව උපන් ජාති ය, සොරදෙටු ව උපන් ජාති ය, ස්වර්ණණකාර ව උපන් ජාති ය, කුම්භකාරව උපන් ජාති ය, වෛද්‍යාචාර්‍ය්‍ය ව උපන් ජාති ය, සිටු ව උපන් ජාති ය, වෙළඳ ව උපන් ජාති ය. බමුණු ව උපන් ජාති ය, පුරෝහිත ව උපන් ජාති ය, ඇමැති ව උපන් ජාති ය, පණ්ඩිත වූ උපන් ජාති ය, රජ ව උපන් ජාති ය, තාපස ධර්‍ම පිරූ ජාති ය, වෘක්‍ෂ දේවතා ව උපන් ජාති ය, ශක්‍රදේවේන්‍ද්‍ර ව උපන් ජාති ය, බ්‍රහ්මරාජ ව උපන් ජාතිය යි යන මේ පන්සිය පනස් ජාතකයෙහි පෙනෙන සමපණස් ජාතිභේදාදීන් අතුරෙන් එකි එකී ජාතිභේදයෙක්හි ම නො එක් නො එක් වාරයෙහි ඉපැද පාරමිතා පුරා සසර ඇවිදුනා වූ මාගේ ස්වාමි දරු වූ බෝධිසත්‍වයෝ.

ස්වර්ණමයූර ජාතකයෙහි පෙර බොහෝ කලක් රක්‍ෂා කළා වූ ශීලපාරමිතාවගේ ආනුභාවයෙන් කසුන් පිඩක් බඳු වූ ශරීර ලදින් හිමාලය වෙනෙහි සතර වනු වූ දණ්ඩකී හීරඤ්ඤ නම් පර්වතයෙහි බ්‍රහ්මචර්‍ය්‍යායෙන් වාසය කරන සේක්: අරුණෝද්ගමන වේලායෙහි උදය පර්වතයෙන් නැගෙන සූර්‍ය්‍ය දේවතාවා බලා “උදේතයං” යන ගාථාව බැඳගෙන හිරුට පළමුව නමස්කාර කොට ලා “යෙ බ්‍රාහ්මණා” යන ගයින් අතීතයෙහි උපන් නො එක් බුදුන්ට නමස්කාර කොට පැන නැගී ගොස් ගෝචර ග්‍රහණයෙන් දහවල් සුව සේ දවස් යවා සවස අස්තපර්වතයට යන හිරු බල බලා හිඳ “අපේතයං” යනාදීන් එම පිරිත බැණ රාත්‍රියෙහි දවස් යවා, මෙසේ වසන කල මේ පිරිතෙහි ආනුභාවයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි බෝසතුන්ට භයෙක් වේව යි, සාරද්‍යයෙක් වේව යි, ලෝමෝද්ගමයෙක් වේව යි, එක දවසකුත් නො වූයේ ම ය. මෙසේ වසන කල බරණැස වැදි පුත්‍රයෙක් වෙනෙහි ඇවිදිනේ දවසෙක ඒ පර්වතය මුදුනෙහි උදයගිරියෙහි දිලියෙන හිරුරැස් කලබක් සේ රන් රසින් දිලියෙන පිල්කලඹ විහිද විහිදා නටන බෝසතුන්ගේ රූප ශ්‍රී දැක ගමට අවුත් කලෙකින් මියෙනුයේ “අසුවල් පර්වතයෙහි රන්වන් මයූර රාජයෙක් වෙසෙයි. ඒ බව දැන හිඳුව” යි තම පුතුට කී ය.

එ සමයෙහි බරණැස් රජුගේ ඛේමා නම් බිසොවක් රන්වන් මොනරකු අතින් සිහිනෙන් බණ අසා “රන්වන් මොනරකු අතින් බණ අසන දොළෙක් මට උපන. ඒ දොළ පසිඳ දෙව” යි රජ්ජුරුවන්ට නො එක් වාරයෙහි යාච්ඤා කළා යි. රජ්ජුරුවෝ රන්වන් මයුරයෝ ලෝකයේ ඇතැයි වේදයෙන් අසා බරණැස වැදි සෙනග රැස් කරවා “රන්වන් මොනරකු දුටුවෝ කවුරුදැ”යි විචාරා සියලු වැදි සෙනග “අපි නුදුටුම්හ, අපි නුදුටුම්හ” යි කී කල යට කී වැදි පුත්‍රයා අතින් ‘අසුවල් පර්වතයෙහි රන්වන් මයුරයෙක් ඇතැ”යි අසා සතුටු ව ප්‍රසාද දී “ඒ මයූරයා නො මරා බදා ගෙන තෝ ම ගෙනෙව” යි එම වැදි පුත්‍රයා යවූහ.

එ කල ඒ වැදිපිත් “ඔහු ගෙනෙමි, දේවයෙනි” යි වහසි කියා හිමාලය වනයට ගොස් බෝධිසත්‍වයන් දැක පර්වතය සිසාරා ඒ ඒ තන්හි මළ ලයි; පිරිතෙහි ආනුභාවයෙන් මළ පිට ඇක්මුනත් බෝසතාණන් පය නො බැඳේ ම ය. අද බදා ගනිමියි, සෙට බදාගනිමියි උත්සාහ කරනුයේ සත්හවුරුද්දක් මුළුල්ලෙහි දුක් ගෙන බදාගත නොහී රජු දක්නට භය ඇති ව ඒ වෙනෙහිම මළේ ය. බිසොවු ද දොළ නො ලදින් එම ශෝකයෙන් ම මළහ. රජ්ජුරුවෝ ද “ඒ රන්වන් මොනරු නිසා ම බිසොවුන් නො ලදිමි”යි බෝසතුන් කෙරෙහි වෛර බැඳ තමන් දිවිහිමියෙන් උත්සාහ කොට බදා ගෙන්වා ගත නොහී “අසුවල් පර්වතයෙහි රන්වන් මයූරයෙක් වෙසෙයි; ඔහු මරා මස් කෑවෝ අජරාමර වෙති”යි රන්පත දෑහිඟුලෙන් ලියා භාණ්ඩාගාරයෙහි ලවා තුමූ ද පරලොව ගියහ. පසු පසු ව ඇති වූ සත් පරම්පරාවෙක රජ දරුවෝ ද රන්පත අකුරු බලා “ඒ මොනරු මරවා මස් කා අජරාමර වම්හ”යි වැද්දන් යවා නොලදින් තුමු තුමූ ද පරලෝ ගියහ. ගිය ගිය වැද්දෝ ද වෙනෙහි ම මළහ.

පසුව සත්වනු ව උපන් රජ්ජුරුවෝ මෙ පුවත් අසා මායමෙහි දක්‍ෂ වූ වැද්දකු ගෙන්වා ඕහට බොහෝ සැපත් දී පෙර සේ ම යවූ හ. ඒ වැදි වනයට ගොස් බෝසතුන් දැක නො බැඳෙන කාරණ පරීක්‍සා කරනුයේ, උදය සවස හිර බල බලා හිඳ මන්ත්‍රය පිරුවාණා දැක “මේ මන්ත්‍රානුභාවයෙන් වන නො බැඳීමකැ”යි දැන “මේ මයූරයා එකලාව ම වෙසෙ යි; එසේ හෙයින් පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යාව ඇති එකෙක; මොහු කාමයෙන් මත් කරවා පියා මන්ත්‍රය පිරුවා ගත නො දී බ්‍රහ්මචර්‍ය්‍යාව කෝප්‍ය කරවා ගෙන්වා බදා ගනිමි”යි සිතා දවසෙක අරුණු නො නැගෙන තෙක් එක් තෙනෙක මළ අටවාලා එ තැන සෙබඩක බැඳ සිටුවා තෙමේ නො පෙනී සිට “රාවයක් කරැ” යි සංඥා කොට ලී ය. සෙබඩ ඒ වේලෙහි බෝසතුන් පර්‍වත මුදුනෙහි දිලියෙන්නවුන් දැක කාමරාවකයෙන් හැඬුව. එ කෙනෙහි ඇගේ රාවකය කණ හී ම හා සමග මාගේ එ වැනි වූ බුද්ධාංකුරයාණෝ පවා සත්සියයක් හවුරුදු මුළුල්ලෙහි රක්‍ෂා කළා වූ බ්‍රහ්මචර්‍ය්‍යාව කොප්‍ය කොට කාමොන්මාද ව සිහි එළවා ගත නො හී එ දවස් මන්ත්‍රය නො පිරුවා ම දිව සෙබඩ සමීපයෙහි වැටී ඉල මළට පා දී, කාම මළට සිත් දී, එක විට ම මළ දෙකින් හසු ව සිටි සේක.

එ කෙණෙහි වැදිපිත් බෝසතුන් අල්වා නො මරාම, ගෙන ගොස් රජ්ජුරුවන් අතට දින. රජ්ජුරුවෝ ද බෝසතුන්ගේ රන් රසින් දිලියෙන රූපශ්‍රී බලා පැහැද මහත් වූ ප්‍රේම බැඳ රන්මල් සේසතින් දිලියෙන සිංහාසනය පිට වඩා හිඳුවාලූහ. එ වේලෙහි බෝධිසත්‍වයෝ සිංහාසනයෙහි වැඩහිඳ රජ්ජුරුවන් මුහුණ බලා ‘දේවයෙනි! කුමක් නිසා මේ සා උත්සාහයක් කොට මාගෙන් වූ දැ? යි විචාළ දෑ ය. රජ්ජුරුවෝ: “තොප ඇඟ මස් කෑවන් අජරාමර වෙති”යි අසා මම ද අජරාමර වෙමි’යි මස් කනු සඳහා ගෙන් වීමි” යි කීහ. බෝධි සත්වයෝ ද, “දේවයෙනි! පෙර රන්වන් මොනරුන්ගේ මස් කෑ කෙතෙක් රජහු අජරාමර වූහ’යි ඇසූ දැ?යි විචාළ දෑ ය. රජ්ජුරුවෝ “තොප විනා අනික් රන්වන් මයුරයකු ලෝකයෙහි නැති වුව, එසේ හෙයින් පෙර අජරාමර වූ රජෙක් නැතැ”යි කීහ. බෝසතාණෝ: “එසේ නැති කල, දේවයනි! තොපගේ බස් පූර්‍වාපර විරෝධය; මා විනා අනික් රන්වන් මයූරයකුත් නැති කල, එ බඳු වූ මසක් කෑවනුත් නැති කල, පෙර අජරාමර වූ වනුත් නැති කල, දැන් මාගේ මස් කෑවන් අජරාමර වෙති යි කෙසේ දතු දැ?යි විචාළ දෑ ය. රජ්ජුරුවෝ: “තොප රන්වන් හෙයින් තොප ඇඟ මස් කෑවන් අජරාමර වෙති යි ඇසීමි”යි කීහ. බෝධිසත්‍වයෝ: “මා මරා ඇඟ මස් කවු ද, නො මරා ඇඟ මස් කවුද?”යි විචාළ දෑ ය. රජ්ජුරුවෝ: “ඇඟ මස් කන්නේ නම් මරා වේ දැ”යි කීහ.

තොපගේ බස් තවත් පූර්‍වාපර විරෝධ ම ය. දේවයෙනි! තෙපි ම දැන් මා මරා පියා නම් මා මියන කල මා ඇඟ මස් කෑවන් නො මියන්නේ කෙසේ දැ යි විචාරා: “මේ ලෝකයෙහි එ්කාන්ත වස්තුවෙකුත් ඇද්ද? අජරාමරයොත් ඇද්ද? මහත් වූ ආනුභාව ඇති දිව්‍ය බ්‍රහ්මරාජයෝ පවා පෙණපිඬක් සේ ඇති ව නැති වන්නාහු ම ය. මුළු සක්වළ බබුළුවන චන්‍ද්‍ර-සූර්‍ය්‍ය දිව්‍යපුත්‍රයෝ පවා දවසෙක කදෝකිමියන් නො වටනාවන් ව අන්තර්ධාන වෙත් ම ය”යි යනාදීන් අනිත් ලකුණෙන් රජහු ගිවිස්වා බුදුකෙනකුන් සේ බණ වදාළ දෑ ය. එ වේලෙහි රජ්ජුරුවෝ කාරණා ගිවිස “තොප රන්වන් වූ කාරණ කිම්දැ? යි විචාළහ. බෝධිසත්‍වයෝ ඒ ජාතියෙහි ජාතිස්මරණඥාන ඇතිහෙයින්: “දේවයෙනි! පෙර මම මේ ම නුවර සත්රුවන් සක්විතිරජ ව වැස මුළු සක්වළ ආකාශයෙන් ඇවිද සක්විති රාජ්‍යය කොට බොහෝ දෙනා පඤ්චශීලය රක්‍ෂා කරවා මම ද බොහෝ කලක් පඤ්චශීලය රක්‍ෂා කොට ඉන් මිය තවුතිසා භවනයෙහි ඉපැද එහි බොහෝ කලක් දිව්‍යසම්පත් විඳ ඉන් මිය අපරාපර්‍ය්‍යවෙද්‍ය වූ කිසියම් අකුශලයෙකින් අහේතුක තිරශ්චීන ව උපන්මි. පෙර රක්‍ෂා කළ පඤ්ච ශිලයෙහි ආනුභාවයෙන් රන්වන් ව ලා රූපශ්‍රී ලදිමි”යි වදාරා, රජහු නො ගිවිස්නා හෙයින් මගුල් පොකුණෙහි නිධාන කොට තුබූ සත්රුවන් රජහට දක්වා ගිවිස්වූසේක.

එ වේලෙහි ඒ දේශනාවෙහි පසන් වූ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සාධුකාර දී බරණැස් රාජ්‍යයෙන් පූජා කළහ. බෝසතාණන් වහන්සේ ද රජහුගේ රාජ්‍යපූජාව ඉවසා කිප දවසක් වැස රජ්ජුරුවන් හා සියලු රාජ්‍යවාසීන් පන්සිල් ගන්වා අනුශාසනා කොට ආකාශයට පැනනැගී නකත් තරුවක් සේ දිලිහි දිලිහී එම දණ්ඩ කීහිරඤ්ඤ නම් පර්‍වතයට ම ගොස් බොහෝ කලක් සුවයෙන් වාසය කළ සේක. මෙසේ අහේතුක ව ඉපැද පවා රජුන්ගේ රාජ්‍ය පුදවා ගන්නා තරම් මහත් වූ පින්බල ඇති හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

2. තව ද කණ්ඩින ජාතකයෙහි තමන් වහන්සේ වෘක්‍ෂ දේවතා ය ඉපැද:

ධීරත්‍ථු කණ්ඩිනං සල්ලං - පුරිසං ගාළ්හවේධිනං,

ධීරත්‍තු තං ජනපදං - යත්‍ථි‘ත්‍ථි පරිණායිකා,

තෙ චාපි ධික්කිතා සත්තා - යෙ ඉත්‍ථිනං වසං ගතා - යි.

යන මේ ගාථාවෙන් ත්‍රිවිධ වූ ගර්හිත වස්තු නම් මේ යයි බණ වදාළ ද බොහෝ වන දෙවියන් විසින් කරන ලද දිබ්බගන්‍ධ කුසුමාදින් පූජා ලත් සේක.

3. තව ද කුක්කුර ජාතකයෙහි සුනඛ රාජන් ව ඉපැද ඥාත්‍යර්ථචර්‍ය්‍යා පූරණය කල සමයෙහි බොහෝ නෑයන්ට රජකුලෙන් උපන් භය දැක ඒ රජ්ජුරුවන් කරා ගොස් රජපිරිස විස්මය පත් කරවා, රජහු හදවා, රජහුගේ සිංහාසන නැගී වැඩහිඳ සුනඛොවාද නම් දේශනාවක් කොට සියලු සතුන් පන්සිල් ගන්වා රජහුගේ දළපුඩු සේසතින් පූජා ලදින් එ දවස් දෙසූ බණින් දැමුනා වූ සත්ත්‍වයන් දසදහසක් හවුරුදු මුළුල්ලෙහි කරන ලද අප්‍රමාණ වූ ප්‍රතිපත්ති පූජා ලත් සේක.

4. තව ද නන්‍දිවිශාල ජාතකයෙහි අජානීය වෘෂභ රාජන් ව ඉපැද ගැල්සියයක් එකවිට ඇද මසු දාසකින් පූජා ලත් සේක.

5. තව ද කණ්හ ජාතකයෙහි එසේ ම වෘෂභ රාජන් ව ඉපැද දුර්ග මාර්ගයෙන් පන්සියයක් ගැල් ගොඩනංවා ඒ පෙළහැරෙහි ද කර්ෂාපණ සහස්‍රයෙකින් පූජා ලත් සේක.

6. තව ද වටු ව ඉපැද පවා මහ වල් දවාගෙන තමන් වහන්සේ කරා දිවන ලැවු ගිනි දැක:

සන්ති පක්ඛා අපතනා - සන්ති පාදා අවඤ්ජනා,

මාතා පිතා ච නික්ඛන්තා - ජාතවේද පටික්කම - යි.

යන මේ ගයින් සත්‍යක්‍රියා කොට සිසාරා සොළොස් කිරියක් මානයෙහි ගිනි වැද්ද නො දී එ වේලෙහි රක්‍ෂා වූ විමන් ඇති ඒ වෙනෙහි දෙවියන් විසින් සන්තුෂ්ට ව කරන ලද සාධුනාද සහස්‍රයන් පූජා ලත් සේක. එ දවස් නැවැති ගිනි කල්පාන්තය දක්වා එ තැනට වැද්ද නො දී පාරමිතාබල පෑ බොහෝ දෙනා විසින් කරන ලද ස්තුති පූජා ලත් සේක.

7. තව ද: බක ජාතකයෙහි වෘක්‍ෂ දේවතාව ඉපැද කර්කටකයක්හු විසින් ග්‍රීවාච්ජේදයට පැමිණි බලාකයක්හු බලා:

නාච්චන්ත නිකතිප්පඤ්ඤො - නීකත්‍යා සුඛමේධති,

ආරාධෙති නිකතිප්පඤ්ඤො - බකො කක්කටකාමිව - යි.

යන මේ ගාථාවෙන් බණ කියා කෛරාටික ඥානයෙහි ආදීනව දැක්වු දා ද වන දෙවියන් විසින් කරන ලද සාධුනාද සහස්‍රයන් හා දිව්‍යගන්‍ධ පුෂ්පාදීන් අප්‍රමාණකොට පූජා ලත් සේක.

8. තව ද: වේදබ්භ ජාතකයෙහි වේදබ්භ මේ මන්ත්‍රානුභාවයෙන් සත් රුවන් වැසි වස්වා ඒ සම්පත්තිය නිසා මරණප්‍රාප්ත වූ දස දහසක් පුරුෂයන් දැක උපන් සංවේගයෙන්:

අනුපායෙන යො අත්‍ථං - ඉච්ඡති සො විභඤ්ඤති,

චෙතා හනිංසු වෙදබ්භං - සබ්බෙ තෙ ව්‍යසනමජ්ඣගුං - යි.

යන මේ ගාථාවෙන් නුවණ නැති ව ධන ලෝභය කිරීමෙහි ආදීනව දක්වා බණ කී වේලෙහි ද මනුෂ්‍ය ව ඉපැද පවා වනදෙවියන් ලවා සාධුකාර දෙවා මහත් වූ ස්තුති පූජා ලත් සේක.

9. තව ද: මහාශීලව ජාතකයෙහි ශීලව නම් රජ ව දශරාජ ධර්මයෙන් රාජ්‍යය කොට ක්‍ෂාන්ති පාරමිතාවෙහි අග පැමිණි සමයෙහි නිරපරාධ වූ තමන් වහන්සේගේ රාජ්‍යය උදුරා ගෙන අමු සොහොනෙහි කට පමණ වළ බිඳුවා එහි පස් තළවා වධ කරුවූ රජහට සම වූ මෛත්‍රී පතුරුවා ඒ ගුණයෙහි පහන් දෙවියන් විසින් දෙන ලද ස්වකීය රාජ්‍යසම්පත්තියෙන් පූජා ලත් සේක.

10. තව ද: කඤ්චනක්ඛන්‍ධ ජාතකයෙහි දරිද්‍ර වූ කුලයෙක ඉපැද පවා පාරමිතා බෙලෙන් දෙවියන් විසින් දෙන ලද චතුහස්තායාම වූ ඌරු ප්‍රමාණ ඝන රන් කඳෙකින් පූජා ලත් සේක.

11. තව ද: යෝධම්ම ජාතකයෙහි වානරෙන්‍ද්‍ර ව ඉපැද ඇත් සමාන බලපරාක්‍රම ඇති ව වෙනෙහි ඇවිදුනා කල රකුසු විල දැක කාරණා කාරණා දන්නා වූ නුවණින් රකුසු විල බව දැන දියෙහි නො ගෑවී එ තෙර මෙ තෙර පැන පැන කැමැති පමණ මල් කඩා විල්තෙර ගොඩකළ වේලෙහි ඒ වික්‍රමයෙහි පැහැද දිය පළා පැන නැගී බද්ධාඤ්ජලී ව සිටි උදක රාක්‍ෂසයා විසින්:

යස්ස එතෙ තයො ධම්මා - වානරින්‍ද යතා තව,

දක්ඛියං සූරියං පඤ්ඤා - දිට්ඨං සො අනිවත්තති - යි.

යන මේ ගයින් කරන ලද ස්තුති පූජා හා, වන දෙවියන් විසින් කරන ලද සාධුනාද පූජා හා අසූදහසක් වඳුරන් විසින් කරන ලද රාජ්‍ය පූජා ලත් සේක.

12. තව ද: සීලවනාග ජාතකයෙහි ඇත්රජ ව ඉපැද අසූදහසක් ඇතුන් හා හස්තිරාජ්‍යය හැර එකලාව වනමැද වැස තපස් කොට තමන් කරා අවුදින් දළ ඉල්වූ දිළිඳක් හට “මුරයෙන් මුරයෙහි දුඃඛිතයෙමි” යි ආ සේ ම මහත් වූ කරුණා ඇති ව තුන් වාරයෙක්හි ම දළ කප කපා දී දානපාරමිතාවෙහි මුදුන් පැමිණ වන දෙවියන් ලවා සාධුකාර දෙවා මහත් වූ පූජා ලත් සේක.

13. තව ද: සච්චං කිර ජාතකයෙහි ගඞ්ගාවක් සමීපයෙහි පන්සලෙක ශීලරක්‍ෂණයෙන් වාසය කරන්නාහු දියෙන් යන දුෂ්ට වූ රාජ කුමාරයකු හා නයෙක, ගිරවෙක, මූෂිකයෙකැයි යන මොවුන් සතරදෙනා ගොඩනගා මෛත්‍රී කොට පසු ව රාජ කුමාරයා රාජ්‍යයට පැමිණ තමන් වහන්සේට වධ යොදා උල අන්නා සේ නියෝග කළ කල්හි:

සච්චං කිරෙවමාහංසු-නරා එකච්චියාඉධ,

කට්ඨං විපලාවිතං සෙය්‍යො-නත්‍වෙවෙකච්චියො නරො - යි.

යන මේ ගාථාව කියා එහි අර්ථ දත් රජ යුවරජ මහ ඇමැතියන් විසින් දුෂ්ට රජහු මරා තමන් ඔටුනු පළඳවා කරන ලද අභිෂේක මඞ්ගලයෙන් පූජා ලත් සේක. ජීවිතදානය ලත් නාගරාජයා සතළිස් කෙළක් ධනයෙන් පූජා කෙළේ ය. මූෂිකයා තිස් කෙළක් ධනයෙන් පූජා කෙළේ ය. ගිරවා තමා ශක්ති පමණ සුගන්‍ධසාලි භෝජනයෙන් පූජා කෙළේය.

14. තව ද අම්බ ජාතකයෙහි පන්සියයක් අතවැසියන් හා සමග වෙනෙහි තපස් කොට මෛත්‍රී බලයෙන් තිරිසනුන් පවා පහදවා සියලු හිමාල ය වෙනෙහි සිවුපාවුන් හා පක්‍ෂීන් හා තමන් තමන්ගේ බලානුරූප වූ පරිද්දෙන් දවස් පතා ගෙනෙනලද දෙසිය පනස් ගැල් පමණ ඇති ඵලා ඵල දානයෙන් බොහෝ කලක් උපස්ථාන ලත් සේක.

15. තව ද කාක ජාතකයෙහි අසූ දහසක් කපුටුවන්ට රජ ව “බොහෝ කපුටුවන් මරා තෙල් ගන්නේ ය”යි බරණැස් රජහුගෙන් නියෝග වූ සමයෙහි නෑයන්ට උපන් භය දැක ආකාශයෙන් ගොස් රජපිරිස් බල බලා සිටිය දී කිසි භයක් නැති ව සිංහාසන මස්තකයෙහි වැඩ හිඳ “දේවයෙනි! මක්නිසා කපුටුවන් මරවු දැ”යි විචාර තෙල් නිසා යයි කී කල “දේවයෙනි! කපුටුවන් ඇඟ තෙල් නැතැ”යි කී කල්හි තෙල් නැතිවන්නට කාරණා කිම් දැයි විචාළ කළ:

නිච්චං උබ්බිග්ගහදයා - සබ්බලෝක විහිංසකා

තස්මා තෙසං වසා නත්‍ථි - කාකානස්මාක ඤාතිනං - යි.

යන මේ ගාථාවෙන් බණ කියා මේ මේ කාරණයෙන් කපුටුවන් ඇඟ තෙල් නැති නියා ය යි ගිවිස්වා රජපිරිස් සන්තෝෂ කරවූ සේක. ප්‍රසන්න වූ රජ්ජුරුවෝ බෝසතුන්ට සියලු රාජ්‍යය පුදා අපාද ද්විපාදාදි සියලු සතුන්ට ද අභයදාන පූජා කොට එ තැන් පටන් අමුණක් සහලින් දවස් පතා කාකපිණ්ඩ නම් දානපරිත්‍යාගයක් කොට දිවි හිමියෙන් පඤ්චශීලය රක්‍ෂා කොට මහත් වූ බහුමාන පූජා කළහ.

16. තව ද: [30]ගග්ගර ජාතකයෙහි මිණිවෙළඳ කුලයෙහි ඉපැද සොළොස් හැවිරිදි ව අන්තර මාර්ගයෙහි ශාලාවකට පැමිණි දා ඒ ශාලාවෙහි වැස යමකු කිවිසපු කල ජීව පටිජීවකයන් තබා අජීව අපටිජීවකයන් සල්ව සල්වා කා බොහෝ පවු රැස් කරන්නා වූ කර්කශ වූ යක්‍ෂයාට නො එක් ප්‍රකාරයෙන් බණ කියා ඔහු දමා ඔහු විසින් දිවිහිමියෙන් කරන ලද අත් පා මෙහෙ පූජා හා එ බැව් දත් බඹදත් රජහු එම දවස් දෙනලද සේනාධිපති ධුරයෙන් පූජා ලත් සේක.

17. තව ද අලීනචිත්ත ජාතකයෙහි බරණැස බ්‍රහ්මදත්ත රජහට පුත්‍ර ව අලීනචිත්ත නම් කුමාර ව මවුකුසින් බිහි වූ දා ම උපන් පිනින් ඒ සා මහත් සතුරු සෙනගත් සාධා උපන් දවස් ම ජයමගුල් පූජාය අභිෂේක මඟුල් පූජා යයි මහා පූජා දෙකක් ලත් සේක.

18. තව ද: තිරීට වච්ච ජාතකයෙහි තිරීට වච්ච නම් තාපස ව බරණැස් රජහු දිවි පමණින් කරන ලද චතුර්විධ ප්‍රත්‍යය දානයෙන් පූජා ලත් සේක.

19. තව ද: චුල්ල කාලිඞ්ග ජාතකයෙහි සැපත් හැර වල් ගොස් තපස් කොට ශීලානුභාවයෙන් ශක්‍රදේවේන්‍ද්‍රයා ගෙන්වා ප්‍රසන්න වූ ඒ සක්දෙවු රජහු විසින් දවස් පතා කරන ලද සප්පාය වූ අත් පා මෙහෙ පූජා ලත් සේක.

20. තව ද: ඒකරාජ ජාතකයෙහි බරණැස් රජ ව දශ රාජ ධර්මයෙන් රාජ්‍යය කොට මෛත්‍රී පාරමිතා නමැති මහ ලිය මල් ගන්වාපු සමයෙහි තමන් වහන්සේගේ මෛත්‍රීබල දත් දිබ්බසේන රජහු අවුදින් රාජ්‍යය උදුරා ගෙන, නිරපරාධ වූ තමන් දෙ කකුල බැඳ අධඃශීර්ෂ කොට [31]උත්තර ම්මාරාම්බරයෙහි බැඳ එල්ලාපු දා ඒ වධ කැර වූ රජු හා සියලු සතුන්ට ම සම මෙත් භාවනා කොට ධ්‍යාන උපදවා බැඳුම් සිඳුවා ආකාශයෙහි පලක් බැඳ වැඩහිඳ ඒ පෙළහර දුටු සතුරු වූ රජු හා මිතුරු වූ ඇමැතියන් හා වතුරු සේ කරන ලද අතුරු නැති සාධුනාද පූජා ය, ඔල්වරසන් පූජා ය, අසුරුසන් පූජාය, පිළිසන් පූජාය, ලොමොද්ගමන පූජා ය, දොහොත් මුදුන් දී කරන ලද නමස්කාර පූජා ය, ස්වකීය රාජ්‍ය ප්‍රතිලාභයෙන් කරන ලද පූජා ය, අභිෂේක මඟුල් පූජා යයි යනාදි වූ අප්‍රමාණ පූජා ලත් සේක.

21. තව ද: දද්දර ජාතකයෙහි හිමාලය වෙනෙහි දද්දර නම් පර්වත ප්‍රාන්තයෙහි දද්දර නම් නාගභවනයෙහි දද්දර නම් නාගරාජයාට පුත්‍ර ව මහා දද්දර නම් නාගකුමාර ව තමන් මලනුවන් චුල්ලදද්දරයන් හා සමග පිය රජහු අතින් උදහස් අස දඬුවම් නිසා ගොස් බරණැස් නුවර මිනිකුණු හා මළමුත්‍ර වහනය කරන්නා වූ උක්කාර භූමියෙහි තුන් හවුරුද්දක් වැස ඒ නිහතමානභාවයෙහි ප්‍රසන්න වූ පිය රජහු විසින් කරන ලද දිව්‍යනාගරාජ්‍යයෙන් පූජා ලත් සේක.

22. තව ද: සීලවීමංස ජාතකයෙහි සත් හැවිරිදි බ්‍රාහ්මණ කුමාරව පන්සියයක් අත වැස්සන් හා සමග දිසාපාමොක් ආචාරීන් කෙරෙහි ශිල්ප උගන්නා කල දවසෙක ආචාරි “මෙයින් ගුණවත් එකක්හට ම දුව සරණ දෙමි” යි සිතා අතවැස්සන් තනි තනි ව කැඳවා “තෙපි මාගේ දියණියන් කැමැත්තා නම් තොප තොපගේ නෑයන් කරා ගොස් කාටත් නොපෙනි පලඳනාවක් ගෙනෙව”යි කී කල පන්සියයක් අතවැස්සෝ තමන් තමන් කුලයට ගොස් පන්සියයක් පලඳනා සොරා ගෙනවුත් ආචාරීන්ට පාවා දුන්හ. පසු ව බෝධිසත්වයන් කැඳවා “මාගේ දියණියන් ප්‍රාර්ථනා කොට සෙසු අතවැස්සෝ සොරකම් කොට ගෙනෙති, පුත තෙපිත් යමක් සොරා නො ගෙනෙවු දැ”යි විචාළහ. එ වේලෙහි බෝධිසත්වයෝ “ආචාරීන් වහන්ස! අනුන් නො දක්වා සොරකම් කළ නොහැක්ක මිනිසුන් නුදුටුවත් දෙවියෝ දකිති. දිවැස් ඇතියෝ දකිති. එසේ හෙයින් මේ ලෝකයෙහි රහසෙක් නම් නැතැ”යි කියන්නාහු:

නත්‍ථි ලෝකෙ රහො නාම - පාපකම්මං පකුබ්බතො,

පස්සන්ති වත භූතානී - තං බාලො මඤ්ඤතී රහො - යි.

යනාදීන් බණ කී දෑ ය. එ වේලෙහි ඒ ගුණයෙහි ප්‍රසන්න වූ දිසාපාමොක් ආචාරීන් කුලධනය සහිත වූ දියණියන් සරණ පාවා දී විවාහ මඞ්ගලයෙන් පූජා කළහ.

23. තව ද: මංස ජාතකයෙහි සිටුපුත්‍ර ව ඉපැද සියලු සතුන්ට ප්‍රිය තෙපුල් කීම ම උතුම් නියාවට දෘෂ්ටාන්ත දක්වා වදාළ සමයෙහි කාරණා කාරණ නො දන්නා රෞද්‍ර වූ වැදි පුත්‍රයා ලවා:

යස්ස ගාමෙ සඛා නත්‍ථි - යථාරඤ්ඤෙ තථෙව තං,

සබ්බස්ස සදිසි වාචා - සබ්බං සම්ම දදාමි තෙ - යි.

යන ගයින් ස්තුති කරවා යහළුව යි කී බසට ප්‍රිය වූවැද්දහු විසින් දෙන ලද ඒ සා මහත් මාංස සකටයකින් පූජා ලත් සේක.

24. තව ද: විසය්හ ජාතකයෙහි විසය්හ නම් ධන සිටු ව දාන පාරමිතාවගේ බලයෙන් සක්දෙව්රජහු පහදවා ඔහු විසින් “දවස දවස දොළොස් ලක්‍ෂයක් ධන පරිත්‍යාගයෙන් දිවිහිමියෙන් දානප්‍රවාහ කරව” යි මවා දෙනලද දිව්‍යධන සමූහයකින් පූජා ලත් සේක.

25. තව ද: උරග ජාතකයෙහි කෘෂි බ්‍රාහ්මණ ව උපන්නා වූ මාගේ බෝධිසත්වයෝ අනිත් ලකුණු දේශනාවෙන් ශක්‍ර දේවේන්‍ද්‍රයා පහදවා එදවස් ද ඔහු විසින් ම, ගේ පුරා මවා දෙන ලද දිව්‍ය ධන සමූහයකින් පූජා ලත් සේක.

26. තව ද: ඝත ජාතකයෙහි ඝත නම් රජ ව බරණැස දශරාජ ධර්මයෙන් පැරුම් පුරන්නා වූ බෝධිසත්වයෝ තමන් ප්‍රාණයක් නො නසති යි අසා සැවැත් නුවර වංක නම් රජහු අවුදින් අවඞ්ක වූ තමන්ගේ රාජ්‍යය උදුරා ගෙන තමන් කරපය මසා, සිරගෙයි ලවා, සිසාරා යෝධයන් රකවල සිටුවා, මහා ව්‍යසන ප්‍රාප්ත කළ දා රාජ්‍යය උදුරාගත් රජහු කෙරෙහි ද, සියලු සතුන් කෙරෙහි ද, සමව කළා වූ මෛත්‍රී භාවනා බලයෙන් ධ්‍යාන උපදවා එකෙණෙහි යදම් පුපුරවා පලය පළා ආකාශයට පැන නැගී පලක් බැඳ වැඩ උන් සේක. එ කෙණෙහි සතුරු රජ බෝසතුන්ගේ මෛත්‍රී පිරුණා වූ ශ්‍රී මුඛය හා පෙරහැර දැක භයගෙන වෙවුලා ස්වකීය රාජ්‍යයෙන් ම පූජා කොට ගියේ ය.

27. තව ද: නන්‍දිමිග ජාතකයෙහි නන්‍දිය නම් මුවරජ ව මාතු පිතුපට්ඨාන ධර්‍මය පූරණය කරන්නා වූ මේ මාගේ බෝධිසත්ත්‍වයෝ බරණැස් රජහු තමන් ඇතුළු වූ දහස් ගණන් මුවන් උයනට ගෙන්වා ගෙන බලා “රජමුවා මා අතින් ම මිදිමි”යි කියා උරපුරා තමන් කරා ශරය ඇදගත් වේලෙහි මරණ භය නැති ව පාරමිතාවන් ආවර්ජනා කොට “අද මාගේ අඟමස් දානමුඛ්‍යයට ම වේව යි; රජහට පවු නො වේව යි; මම ද දැන් මස්රස දුන්නා සේ ම මතු සියලු සතුන්ට දහම් රස දෙම්ව”යි සිත සිතා වැඩ සිටි සේක. බෝසතුන්ගේ මෛත්‍රී ආනුභාවයෙන් රජහු හයා ගත් ශරය අතිනුත් නො හැරේ ම ය. රජ ද සිතියම ඇඳපු රුවක් සේ නිශ්චල ව සිටියේ ම ය බෝධිසත්ත්‍වයෝ ‘සිට[32]වෙහෙසි පී ය; මහරජ! ශරය අතහැරපියව’යි කී දෑ ය.

රජ්ජුරුවෝ: මහතාණෙනි! තොප වැනි පින්වත් මුවරජක්හු මරාපියන්ට මා අත නො නැඟෙ”යි කියා ධනුව හා ශරය බිම හෙළා නමස්කාර කොට සිට “ස්වාමීනි! තොපට අභය දානය පුජා කෙරෙමි; වල්යව”යි කීහ. එ වේලෙහි බෝධිසත්ත්‍වයෝ: “දේවයෙනි! මාගේ ජීවිතය පමණක් ගලවාගෙන වලට යාම මා වැනියන්ට සුදුසු නො වෙයි; මා කෙරෙහි ප්‍රේම ඇතියා නම් මාගේ සෙසු නෑයන්ටත් අභයදානය දෙව”යි කී සේක. එ වේලෙහි රජ්ජුරුවෝ බෝසතුන් කෙරෙහි උපන් සන්තෝෂයෙන් ‘නුඹ වහන්සේගේ නෑයන් තබා අද පටන් මාගේ ජීවිතාන්තය දක්වා මාගේ අණසක පවත්නා වූ මානයෙහි යම් ම තෙනක සියලු තිරිසනුන්ට ද අභයදානය දිනිමි, අද පටන් මම ද ප්‍රාණයක් නො නස්මි”යි ප්‍රතිඥා කළහ. එ වේලෙහි බෝධිසත්ත්‍වයෝ රජහු පන්සිල් ගන්වා:-

දානං සීලං පරිච්චාගං - අජ්ජවං මද්දවං තපං,

අක්කෝධෝ අවිහිංසා ච - ඛන්තී ච අවිරෝධතා

ඉච්චතෙ කුසලෙ ධම්මෙ - ඨිතෙ පස්සාමි අත්තනි,

තතො චෙ ජායතෙ පීති - සෝමනස්සඤ්චනප්පකං - යි.

යනාදීන් රජහු දශ රාජධර්මය උගන්වා සියලු සතුන් විසින් කරන ලද නමස්කාර සාධුනාද පූජා සහස්‍රයන් ලදින් වන ප්‍රවිෂ්ට වූ සේක. මෙසේ තිරිසන් ව ඉපැද පවා රජුන්ට බණ වදාරා සියලු සතුන්ගේ අභයදාන පූජා ලබන පින්බල ඇති හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

28. තව ද: මහාකපි ජාතකයෙහි කපිරාජ ව උපන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ අසූ දහසක් වඳුරන් පිරිවරා ගංගාවක් සමීපයෙහි වූ මහ මී අඹවනයෙක වාසය කරන සේක. එකල බරණැස් රජ්ජුරුවෝ ගඞ්ගා ජලයෙන් ගිය අඹ ඵලයක් දැක අඹරසෙහි තෘෂ්ණා බැඳ නැව් නැඟී ගංගාව ඔස්සේ ගොසින් සවස මී අඹ ගස දැක ගත සිසාරා දහස් ගණන් දුනුවායන් සිටුවා තුමූ අඹ ගසමුල යහන් අතුරුවා ලැගුම් ගෙන “උදෑසනක් සේ වඳුරන් හැම මරව“ යි නියෝග කළහ. එදවස් බෝධිසත්ත්‍වයෝ මේ භය දැක: “මා වැනි වීරපුරුෂයක්හුගේ නෑයන් නස්නා සේ නො යෙදෙයි; අද ඥාත්‍යර්ථ චර්යාවෙහි මුදුන් පැමිණෙමි”යි අස්වසාලා අඹ අත්තෙන් ධනුඃශත ප්‍රමාණ වූ පළල් ගඟ එතෙර භිත්තියට පැන පියා පිනූ සලකුණෙන් ගඟ පළල දැනගෙන වැලක් කඩා ඉහ බැඳගත. වැල්පිළ නිසා මඳක් ලුහුඬු වන නියාව අහේතුක ඥාන හෙයින් සිතාගත නොහී නැවත වාතච්ඡින්න වලාපිඩක් සේ අඹගසට පැන වැල්පිළ මඳක් ලුහුඬු ව ගිය හෙයින් දෑතින් අඹ අත්ත අල්වාගෙන පසු බඳ වැල් පිළට දීලා තමන් වහන්සේ මතු සංසාර නමැති සාගරයට සේතුවන නියාවට සරඹයක් කරන්නා සේ පසු බඳ සේතුවක් කොට පෑලා අසූ දහසක් වඳුරන් කැඳවා “නෑයෙනි! වැල මඳක් ලුහුඬු ව ගියේ ය; දෙවනුව එතෙර පැන වැලක් දික්කොට ගනිම් නම් එ තෙකව පහන් වෙයි; පහන් වී නම් තොප හැම දෙනාගේ ජීවිත නැත. තොප හැම දෙනාට මාගේ ජීවිතය දන් දිනිමි. මා ගැන නො සිතා මා හෙයක් කොට ගොස් තොප තොපගේ ජීවිත රක්‍ෂා කොට ගනුව” යි නියෝග කළ දෑ ය.

එ වේලෙහි අසූදහසක් වඳුරෝ බෝසතුන් පිට සෙමින් සෙමින් එලි එලී අත්වැලට නැඟී හැම ගැලවී ගියහ. දෙවිදත් ඒ ජාතියෙහි වඳුරු ව ඉපැද පෙර නසමි යි කළ පැතුම් බලයෙන් මොහු කවර දවසෙක නසා පියම් දෝ හෝ යි අවසරයක් බල බලා හුන්නේ එ වක සේවක ව වසනුයේ හැම වඳුරන් පලා යන තුරු මුදුන් අත්තෙහි ඇලී හිඳ අන්තයෙහි බෝසතුන් පිටට පැන දෙපයින් මැඩ වසට බිඳගෙන දිව පී ය. බෝධිසත්ත්‍වයෝ ඒ සා මහත් දුඃඛයක් ඉවසාගෙන ක්‍රෝධයක් නොකොට දෙවනුව පැනපිය නො හැකි හෙයින් අඹ අත්ත අතින් අල්වාගෙන පහන් කළ දෑ ය.

අලුයම් රාත්‍රියෙහි ගස උඩ බලා එක වඳුරකුත් ගස උඩ නැති නියාවත්, එ තෙරින් මෙ තෙර අත්වැල තුබූ නියාවත්, හිඟ බැඳි වැල හා සමග අඹ අත්ත දෑතින් ගෙන බෝසතුන් වැදහොත් නියාවත් රජ්ජුරුවෝ දැක ඉතා මහත් විස්මයව යෝධයන් ගස උඩට නංවා බෝසතුන් සෙමෙන් සෙමෙන් බාවා හිඟ බැඳ වැල මුදා වසට බුන් සේ දැක, ඉතා මහත් වූ කම්පා ඇති ව හිඟ දියකඩලා ශතපාක සහස්‍රපාක තෙල් ගල්වා තෙලි සමකින් යහනෙහි සතපා දොහොත් මුදුන් දි සිට “ස්වාමීනි! තෙපි කෙසේ වූ විරපුරුෂයාන කෙනෙක් ද, මේ කෙබඳු වූ පෙරහරෙක් ද; තිරිසනුන් තබා මනුෂ්‍යයන් කෙරෙහිත් තමන් දිවි දී අනුන් දිවි රක්නා කෙනෙක් නැත. නුඹ වහන්සේ මේ කෙළේ කිමෙක්දැ”යි විචාළහ. එ වේලෙහි බෝසතාණෝ මරණ වේදනාව ඉවස ඉවසා මහරජ්ජුරුවන් හා සමග කතා කරන සේක්:

රාජා‘හං ඉස්සරො තෙසං - යූථස්ස පරිහාරකො,

තෙසං සොකපරෙතානං - භීතානං තෙ අරින්‍දම - යි.

යනාදීන් බණ කියා තමන් වහන්සේ රජ නියාවත්, තමා දිවිදීත් ආශ්‍රිතයන් රක්‍ෂා කිරීම් රාජධර්ම නියාවත් යනාදීන් රජ්ජුරුවන්ට බණ කිය කියා ම නිරුද්ධ වූ සේක. එ වේලෙහි බෝසතුන්ගේ ගුණයෙහි පහන් වූ රජ්ජුරුවෝ මහත් වූ ශෝකයෙන් වැලප බෝසතුන් රන් දෙනකට වඩා දාරුශත ප්‍රමාණ දරසෑයක් බඳවා, නොයෙක් රජ පෙළහරින් ආදාහනය සරහා නොඑක් ඇමතියන් හා සමග තුමූ කසා පිළි හැඳ පෙරව සිසාරා දඬුවැට පහන් ගන්වා තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි සිට බෝසතුන් මහත් වූ පූජාවෙන් දවා, තුන්වන දා ආදාහන පූජා කොට එ තෙන චෛත්‍යයක් බඳවා ගඳ මල් දුමින් පුදා සතරවන දා බෝසතුන්ගේ සීසකලාපය රන් කරඬුවකින් ගෙන බරණැස් නුවර ගෙන ගොස් සත් දවසක් මුළුල්ලෙහි දන්තධාතුව ලද ශක්‍රෙද්වේන්‍ද්‍රයා සේ මහත් වූ පූජා කොට බරණැස් නුවර මැද සීසකපාල නම් මහසෑයක් බඳවා එහි වඩා, දිවි පමණින් මහත් වූ පූජා කළහ.

පසු ව උපන් නොයෙක් රජදරුවෝ ද මෙපවත් ශ්‍රැත පරම්පරාවෙන් අසා පැහැද තමන් තමන්ගේ ධන පමණින් දීර්ඝ කාලයක් ඔබ උදෙසා ම පූජා කළහ. මෙසේ මාගේ ස්වාමිදරුවාණන් තිරිසන්ව ඉපැද පවා ශරීර ධාතුවට පූජා ලත් කල දැන් ලොවුතුරා බුදු ව මුළුලෝ නිවන් රසයෙන් තෙත් කොට ඉතා මහත් වූ බුද්ධ ශ්‍රී දක්වා තමන් වහන්සේ ගේ පා පිසපු බිස්ස පවා මහ බඹුන්ට මුදුන්මල්කඩ කොටපු සමයෙහි පිරිනිවන් පෑ තැන ධාතු ගෙන දැන් දෙවියන් බඹුන් මිනිසුන් තම තමන්ගේ ධන පමණින් පුදන නියාව කවර ආශ්චර්යයෙකැයි කියම් ද. මේ මේ කාරණයෙනු දු මාගේ ස්වාමිදරුවාණෝ අර්හත් නම් වන සේක.

29. තව ද: මහා සුව ජාතකයෙහි ගිරා රජ ව ඉපැද, දිඹුල් ගසෙක වාසය කොට පවත්ත ඵලක නම් වූ තපස් කොට, ඒ දිඹුල් ගස ම ගොදුරුගම් කොට සිතා යථාලාභ සන්තෝෂයෙන් වාසය කොට පසු ව දිඹුල්ගස මිය දිරා සුණු වැගිරෙන අවස්ථාවෙහි ද, අනික් තැනකට නො ගොසින් මළ ගස සුණු අනුභව කොට මතු කරන දුෂ්කර ක්‍රියාව අභ්‍යාස කරන්නාක් සේ කෘතෝපකාරයෙහි යෙදී බොහෝ දවසක් වාසය කරන සේක. ඒ ගුණයෙහි පහන් ශක්‍ර දේවේන්‍ද්‍රයා ඒ ගස ජීවමාන කොට මවා ධ්‍රැම ඵලයෙන් පූජා කොට ගියේ ය.

30. තව ද: චුල්ල සුව ජාතකයෙහි ද එසේ ම වසය කොට ශක්‍රයා විසින් මවා දෙන ලද ඵල සහිත වූ උදුම්බරා වෘක්‍ෂයෙකින් ම පූජා ලත් සේක.

තව ද: කුද්දාල සමාගමයෙහි ද, හත්‍ථිපාල සමාගමයෙහි ද, අයෝඝර සමාගමයෙහි ද, ජෝතිපල සමාගමයෙහි ද, මූගපක්ඛ සමාගමයෙහි ද යන මේ පඤ්ච සමාගමයෙහි තමන් වහන්සේගේ දේශනා බලයෙන් සියලු සතුන් දමා රාජ්‍යය සිස් කරවා මහ පිරිස් ගෙන තපසට වල ගොස් සක්දෙවු රජහු විසින් මවා දෙන ලද දොළොස් යොදුන් තිස් යොදුන් පමණ තෙන දිව්‍යමය වූ පන්සැල් හා දිව්‍යමය වූ රාත්‍රිස්ථාන දිවාස්ථාන චංක්‍රමණ හා දිව්‍යමය වූ මණ්ඩප පැන් පොකුණු හා දිව්‍යමය වූ තවුස් පිරිකර සහිත වූ ඒ සා මහත් වූ සේනාසන දානයෙකින් පූජා ලත් සේක.

31. තව ද: සුප්පාරක ජාතකයෙහි සුප්පාරක නම් පණ්ඩිත ව නැව් නැගී ගොස් වළබාමුඛ සමුද්‍රයට පැමිණ නැව නස්නට පටන්ගත් වේලෙහි කළා වූ සත්‍යක්‍රියා බලයෙන් ආපස්සේ දිවූ නැව ඇසිල්ලෙකින් පටුන් වැද ගොසින් අට ඉස්බක් තැන් දිව තමන් වහන්සේගේ දොර මිදුලෙහි සිටගත් වේලෙහි එ දවස් දිවි ලදින් සන්තෝෂ වූ සත්සියයක් වෙළඳුන් එකවිට දොහොත් මුදුනෙහි තබාගෙන කළා වූ සත් සියයක් සාධුනාද පූජා ලත් සේක.

32. තව ද: මහා කණ්හ ජාතකයෙහි ශක්‍රදේවේන්‍ද්‍ර ව ඉපැද ලෝකාර්‍ථ චර්‍ය්‍යාව කළා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ කාශ්‍යප සර්‍වඥයන් වහන්සේගේ ශාසනය විසි දහසක් හවුරුදු පැවත නස්නට පටන්ගත් අවධියෙහි බොහෝ සතුන් අපාගත වන සේ දැක උපන් මහා කරුණාවෙන් මිනිස්ලෝ වැඩ ශුනක ඝෝෂයෙන් තුන්ලෝ වෙවුල්වා සියලු සතුන් භය ගන්වා “මෙ තැන් පටන් බුදුන් කී පිළිවෙත් වරදවා පාපයක් කළ කෙනෙක් ඇත්නම් මේ ශුනකයා ලවා කවා මරවමි”යි බොහෝ දෙනා භයගන්වා අවවාද දී සියලු සතුන් දහම් ගන්වා වැඩිසේක. එ තැන් පටන් මනුෂ්‍යයෝ බෝසතුන් කෙරෙහි භව ඇති ව ගුණ රක්‍ෂා කරන්නාහු නටුවා වූ ශාසනයෙහි දහසක් හවුරුදු මුළුල්ලෙහි සසුන් පවත්වා ප්‍රතිපත්ති පූජා කළහ.

33. තව ද: කාලිඞ්ග බෝධි ජාතකයෙහි තමන් වහන්සේ බුදුවන්නා වූ බෝධිමණ්ඩලය පමණක් දැක ප්‍රසන්න වූ කාලිඞ්ග චක්‍රවර්ති රජහු විසින් එ තෙනට බොහෝ උපචාර කරවා දවස් පතා කරන ලද සැටදහස් සුවඳමල් සඞ්ඛ්‍යාවෙන් අපමණ වූ පූජා ලත් සේක.

34. තව ද: රූරුමිග ජාතකයෙහි රූරුනම් මුවරජ වූ මේ මාගේ බෝධිසත්ත්‍වයෝ බරණැස් රජහුගේ සිංහාසනය නැගී වැඩ හිඳ, එ දවස් දෙසූ ධර්‍ම දේශනා බලයෙන් රජහු ලවා සියලු රාජ්‍යය පුදවා ගෙන, සියලු සතුන්ට ද අභය දානය ඉල්වාගෙන, මහත් වූ වික්‍රමයෙන් නො එක් පූජා ලත් සේක.

35. තව ද: සරභ මිග ජාතකයෙහි සරභ නම් මුවරජ ව තමන් වහන්සේ මරමි යි ලුහුබඳවා පසු පස්සේ දිවන බරණැස් රජහු සැට රියන් ගැඹුරු නරාවළෙක්හි දිය බී මියයන්නා දැක ඔහු කෙරෙහි උපන් මහා කරුණා ඇති ව “දැන් මේ වළ හුනු රජහු නො නඟා ගියෙම් නම් මතු සසර වළ හුනුවන් කෙසේ ගොඩ නගමි දැ”යි සිතා ආ පස්සෙහි එ තෙනට අවුත් ඒ වළ හුනු රජහු ගොඩනඟා දිවි ගැළවූ සේක. ඒ කාරණයෙහි පහන් බරණැස් රජ්ජුරුවෝ ද බෝසතුන්ට තමන්ගේ රාජ්‍යය පුදා සියලු සතුන්ගේ ජීවිතදානය පුදා, දිවිපමණින් පඤ්චශීලය රක්‍ෂා කොට බෝසතුන් නමට ම ප්‍රතිපත්ති පූජා කළහ.

36. තව ද: සිවි ජාතකයෙහි සිවි නම් මහ රජ ව ඇස් ඉල්වා ආ අන්‍ධ බ්‍රාහ්මණයාට ඇස් දන් දී අඞ්ග පරිත්‍යාගයෙහි මුදුන් පැමිණ නැවත එම ජාතියෙහි ම පාරමිතා නමැති සෘෂීහු විසින් මවා දෙන ලද සියක් යොදුන් දක්නා දිවැස් සඟළෙකින් පූජා ලත් සේක.

37. තව ද: රෝහණ මිග ජාතකයෙහි රෝහණ මුව රජ ව මාගේ බෝධිසත්ත්‍වයන් කසුන් කඳක් බඳු වූ රූපලීලා ඇති සමයෙහි තමන් වහන්සේගේ ඇගින් රන්වන් වූ ලොම් මිටක් පමණ ලැබ ගත්තා වූ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ කේශධාතු ලද සක්දෙව් රජහු සේ ඉතා සන්තුෂ්ට වූවාහු රන්සුමුකට වඩා දීර්‍ඝ කාලයක් භෝග පමණින් පූජා කළහ.

38. තව ද: ඡද්දන්ත ජාතකයෙහි ඡද්දන්ත නම් මහා හස්තිරාජන් ව රිදී පර්වතයක් සේ දිලියෙන එක්සිය විසි රියන් ශරීරයෙකින් හා සවණක් රස් විහිදුවන තිස් රියන් දළ සඟළෙකින් හා ශ්‍රීමත් වූ සමයෙහි දළ සොයා ගිය වැද්දහුට දළ දෙක කපා දන් දී දාන පරමාර්ථ පාරමිතාවෙහි මුදුන් පැමිණ එම වේලෙහි ම කාලක්‍රියා කොට එ දවස් අට දවසක් ඇතුන් විසින් හා පන්සියයක් පසේ බුදුන් විසින් හා තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි සිසාරා සිට කරන ලද මහත් වූ ආදාහන පූජා ලත්සේක.

89. තව ද: කුස ජාතකයෙහි කුස නම් රජ ව ප්‍රභාවතීත් නිසා ගොස් නුවර පිරිවරා ගත් ඒ සා මහත් සත් සෙනඟක් දැක “අහං කුසො”යි කී එක බසින් මහීනාද ය අසා පැරද පලා ගිය මර සෙනඟ සේ ඒ මහීපාල නාදය අසා සත් සෙනඟ ම පැරද පලා ගිය වේලෙහි, ඒ වික්‍රමයෙහි ප්‍රසන්න වූ ශක්‍රෙද්වේන්‍ද්‍රයා විසින් ග්‍රීවාහරණ කොට පළඳවන ලද අෂ්ටවඞ්ක වූ දිව්‍යමය මාණික්‍ය රත්නයෙකින් පූජා ලත් සේක.

40. තව ද: මහා ජනක ජාතකයෙහි මහා ජනක නම් රාජකුමාරව වීර්‍ය්‍යපාරමිතාවෙහි මුදුන් පැමිණියා වූ මේ මාගේ බෝධිසත්ත්‍වයෝ රජය සතුරන් ගත් හෙයින් “පළමු ව ධන උපදවා, දෙවනු ව පිරිස් සිටුවා, තුන්වනු ව යුද්ධ කොට සතර වනු ව රාජ්‍යය ගනිමි”යි සිතා නැවු නැඟී ගොස් මුහුද මැද නැව නට කල, තව ද වීර්‍ය්‍යයෙහි පසු නො බැස ඉන්‍ද්‍රනීල භූමියෙක කසුන් කඳක් පෙරළෙන්නා සේ සත් දවසක් මුහුදු පීනා තමන්ගේ වීර්‍ය්‍යබල දත් මණිමේඛලා නම් දෙව්දුව එ කෙණෙහි ම දිව අවුදින් තමන් වඩා උරමඩලෙහි සතපා දිවපහස් පතුරුවා විඩා සන්සිඳුවා ප්‍රිය පුත්‍රයකු සේ නිදිගන්වා එ ම දවස් ගෙන ගොස් ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා මෙසේ ඈ විසින් කරන ලද ජීවිත දාන පූජා ය, රාජ්‍ය ප්‍රතිලාභ පූජා ය යි මහත් වූ සත්කාර පූජා ලත් සේක.

41. තව ද: මහා සුතසෝම ජාතකයෙහි මේ මාගේ බෝසතාණන් වහන්සේ කුරුරට ඉඳිපත් නුවර ධනඤ්ජය කොරව්‍ය රජ හට පුත්‍ර ව සුතසෝම නම් රාජකුමාර ව, එක්සියයක් රාජකුමාරයන් හා සමග තක්සලා නුවර දිසාපාමොක් ආචාර්‍ය්‍යයන් කෙරෙහි ශිල්ප හදාරා නුවණින් අග පැමිණ එක්සියයක් රජ කුමරුන්ට අනුශාසනා කොට ඔවුන් තමන්ගේ රාජධානිවලට යවා ස්වකීය රාජ්‍යය ප්‍රතිලාභ කරවා තමන් වහන්සේ ද ස්වකීය රාජ්‍යෙයහි රාජ්‍යශ්‍රී විඳ, එක්සියයක් රජුන් පඤ්චශීල රක්‍ෂණයෙන් හික්මවා ලොව බුද්ධෝත්පාද කාලයක් සේ කරන සේක. එ කල ඔවුන් අතුරෙන් බ්‍රහ්මදත්ත කුමර බරණැස් රජ ය කරනුයේ සොර සොරා මිනී මරවා මිනීමස් කයි. මෙසේ කලක් ගිය කල කාල නම් සේනාධිපති මෙ පවත් දැන රජ්ජුරුවන් කරා අවුදින් “දේවයිනි! ස්වකීය මාංසානුභවය නම් තමාට ම විනාශයට කාරණ වන්නේය; පෙර ආනන්‍ද ය, තිමින්‍ද ය, අජ්ඣාරෝහණ යයි යන පන්සියයක් යොදුන් දිග මස් රජුන් තුන්දෙනා හා තිමිඞ්ගල ය, තිමිර පිඞ්ගල ය යි යන දහසක් යොදුන් දිග මස් රජුන් දෙදෙනා හා මේ පස්දෙනා අතුරෙන් ආනන්‍ද නම් මත්ස්‍යරාජයා විනාශයට පැමිණියේ ස්වකීය මාංසානුභාවය නිසා ම ය. පෙර මම නුවර ස්වස්තී නම් බ්‍රාහ්මණ කුලයෙහි උපන් සොච්ච මානවකයා කුලයෙන් නටුයේ ද ජාතියට නො තරම් වූ සුරාපානයෙහි තෘෂ්ණාව බැඳ ම ය. තව ද ධ්‍රැතරාෂ්ට්‍ර කුලයෙහි හංසයන් විනාශයට පැමිණියේ ස්වකීය මාංසභව ය නිසා ම ය”යි යනාදීන් රජහට අවවාද කියා ගිවිස්වා ගත නොහී අරක්කැමියා හා මඟුල් කඩුව හා මස් පිසන සැළියත් පාවාදී ඔහු රාජ්‍යයන් නෙරියහ.

එ කල රාජ්‍යය හැර වල්වැද දුටුදුටුවන් මරා මිනීමස් කා ඇවිද දවසෙක මිනීමස් නො ලදින් අරක්කැමියා මරා මස් කා එතැන් පටන් එකලා නුග ගසක් මුල වාසය කොට “පෝරිසාද නම් මිනිස් යකෙක් මිනී මරා මස් කන්නේ ය”යි මුළු දඹදිව ප්‍රසිද්ධ ව දවසෙක පය උලක් ඇනගෙන බොහෝ වේදනා ඉවසාගත නොහී නුගරුක දෙවියා කරා ගොස් “ස්වාමීනි! රුක්දෙවියාණෙනි! දවස් ගණනක් ඇතුළත පයට පහලක් ලදිම් නම් දඹදිව එක්සියයක් රජුන් නො මරා මෙතැනට ගෙනවුත් උන්ගේ ගල ලෙහෙයෙන් තොපගේ කඳ සෝදා ලමි; අතුණුබහනින් තොපගේ විමන සිසාරා පන් හැද ලමි; ඔවුන්ගේ පඤ්චමධුර මාංසයෙන් තොපට බිලි දෙමි”යි ද, එගසමුල වැදහෙව නිරාහාර හෙයින් සියලග වියලෙත්, වණය තෙමේ ද සුව වූ කල්හි දේවතානුභාවයෙනැයි රුක්දෙවියා කෙරෙහි පැහැද “මට මේ සා වැඩක් කළ රුක්දෙවියාණන්ට යදි බිලියෙන් පූජා කෙරෙමි”යි සිතා “කෙසේ දඹදිව රජුන් ගෙනෙම් දෝ හෝ දඹදිව මහතැ”යි සිත සිතා සිටියේ ය.

එ කෙණෙහි ලැවු ගින්නට සෙණ ගින්නක් හැමුවා සේ, නිෂ්කාරණ වූ යක්‍ෂයෙක් ඕහට පෙනී එක දවසින් සියක් යොදුනුත් දිව විඩා නො වන මතැ‘තුනුත් සොඬ ගෙන බිම අපුළා පියන ශබ්ද ඇසුවවුන් දෑස් පියවි මුහුණින් වැටීගෙන ජවබල තේජස් ඇති දිව්‍ය මන්ත්‍රයක් උගන්වාලා යහළු! තා සිතූ සිත නො පමා ව”යි කියා අන්තර්ධාන විය.

එ කෙණෙහි ඔහු සතුටු ව කඩුපත හයා ඉස සිසාරා පවන් වේගයෙන් වෙන වෙන රාජධානි දිව “මම ය පෝරිසාදයා ය”යි බැණ නැගි බසින් සිවුරඟ සෙන් වෙවුල්වා මහ පිරිස් මැදින් දිව සෙණක් ගැසුවාසේ මහපිරිස කුමක් බවත් නොදැන බලබලා සිටියදීම සිංහාසනවල උන් රජුන් දෙකකුල ගෙන බිම හෙළා යකුන් ගත් කුකුළන් සේ, සල්ව සල්වා එල්ව පිටි දැමැද වතුරුවා ඉස් විළුඹින් පැහැර පැහැර දිව අවුදින්, රජුන්ගේ අතුල්විද අවුනා ගස අතු අත්තේ එල්වා මෙසේ සත් දවසක් ඇතුළත සුතසෝම රජ්ජුරුවන් හැර මුළු දඹදිව රජුන් ගස එල්වා යාගයට පටන් ගත් කල්හි නුග ගස දේවතාවා රජදරුවන්ට උපන්නාවූ ඉතා මහත් පීඩා දැක මහත් වූ කරුණා ඇතිව ද තෙමේ ඔවුන් දිවි ගළවා ගත නොහී මෙ පවත් ක්‍රමයෙන් සක්දෙව් රජහට කියා ඔහුගෙන් උපදෙස් ලදින් නැවත නුගගස කරා අවුදින් පෝරිසාදයාට පෙනී “තෝ එ දවස් එක්සියයක් රජුන්ගෙන් බිලියම් දෙමි යි යදලා දැන් සුතසෝම රජ්ජුරුවන් හැර බිලියම් දෙයි ද; ඔහු හැර බිලියම් නො ගනිමි”යි කියා අන්තර්ධාන වී. එ බසට පෝරිසාදයා රුක් දෙවියා දුටු සතුටින් මත් ව, ‘එසේ වී නම් ඇසිල්ලෙකින් දිව ඔහු ගෙනවුත් හිමි නුඹට බිලියම් දෙමි; මට නො කිපෙව”යි යැදලා ඇසිල්ලෙකින් ඉඳිපත් නුවරට දිව “සුතසෝම රජහට රකවල් දැඩී ය; ඇතුළු නුවර දී අල්වාගත නො හැක්ක; උයන දී අල්වා ගනිමි”යි සිතා මඟුල් උයනෙහි මඟුල් පොකුණට වැද නෙළුම් පතින් මුවා ව සිටියේ ය.

අලුයම් රාත්‍රියෙහි බෝසතාණන් වහන්සේ සූසැට ආභරණයෙන් සැරහී මඟුලැතු සරහා සිවුරඟසෙන් සමගින් මඟුල් උයනට වන්සේක. එ කෙණෙහි “පෝරිසාදයා ඉදින් අප රජහු ද ගෙන ගිය නම් දඹදිව සිස්වන්නේය”යි අමාත්‍යයෝ උයන සිසාරා එකි එකී අතින් දොළොස් දොළොස් ගවු මානයෙහි ඇත් පවුරු ය, අස් පවුරු ය, රථ පවුරු ය, බළ පවුරු යයි සිවුරඟ සෙන් සිටුවා තලමිටක් අහසට දැමූ කල ඇටකුත් බිම හිය නො හැක්කා සේ එක සන්තාභයෙකින් වැසුවා සේ සිසාරා සිටගත්හ.

ඉක්බිත්තෙන් බෝසතාණෝ මඟුල් පොකුණට බැස දිය කෙළ නහා ගොඩනැඟී ඇඟ දිය වියලමින් සිටි දෑ ය. එ කෙණෙහි පෝරිසාදයා “රජ ආභරණ පලන් නම් පසු ව බර මහත; දැන් ම අල්වාගනිමි”යි සිතා “මම පෝරිසාදයා ය”යි හඬක් ගසා දියරකුස්සකු සේ පැන නැඟී වේලෙහි දොළොස් ගවු මානයෙහි ගැවසී සිටි මහ සෙනඟට ඇසී සෙණහඬක සේ වෙවුලා, ඇතරුවෝ ඇතුන් පිටින් හුනහ; අසරුවෝ අසුන් පිටින් හුනහ, රථරුවෝ රථ පිටින් හුනහ; බළ යෝධයන් අත තුබූ ආයුධ වැගිර ගි ය; මතැත්හු දිය සලා බෙටිසලා වෙවුල වෙවුලා මහ හඬින් ගුගුරා නැංගාහ; අශ්වයෝ මරණ හේෂාරව දුන්හ. යෝධයෝ මුණින් හුනහ. මේ සා මහත් තේජස් පෙර ජාතියෙහි දන් දුන් එක ම ගිනි කබලක් නිසා ලදුයේ ය.

එසේ හෙයින් නුවණැත්තාවූ සත්පුරුෂයන් විසින් කුසල් නම් ස්වල්ප දෙයකැ යි නො සිතිය යුතු ය. විපාක දෙන අවස්ථාවෙහි ස්වල්ප නො වන්නේ මැයි කීයේ මැනෝ:

කුසලං නාවමන්තබ්බං ඛුද්දකන්ති කදාචිපි,

අනන්තඵලදං හොති - නිබ්බානම්පී දදාතිහි - යි.

ඉක්බිත්තෙන් පෝරිසාදයා බෝසතුන් කරා දිව “මතු තමා අඟුල් මල් මහ තෙර ව ඔබ අතින් බණ අසා අමාමහ නිවන් දුටු දා තමා සිත් සේ වැඳ පෙරළී යන තමහට මුදුන්මල්කඩ කරන ශ්‍රීපාදයට දැන් අනාදර නො කෙරෙමි”යි පය නො ගන්නා සේ, සෙසු රජුන් සේ බෝසතුන් දෙ කකුල නො ගෙන තෙල් කළයක් ඔසවන්නා සේ බෝසතුන් වඩා කරපිට හිඳුවා ගෙන අටළොස් රියන් මහපවුර සිංහ පොවුවකු සේ පැන ඇත්කුඹින් ඇත්කුඹුට, අස්පිටින් අස්පිටට, රථහිසින් රථහිසට පැන පැන දොළොස් ගවුවක් තැන් පය බිම නො ගා දිව, සිංහයක්හට හසු වූ ඇත් පොව්වකු සේ බෝසතාණන් හැරගෙන පලා ගියේ ය. එ වේලෙහි බෝධිසත්ත්‍වයෝ මරණ භයක් නැති ව ඔහු කරපිට හිඳ ම මඟදී නොඑක් කතා කොට ඔහු සපථයෙන් ගිවිස්වා ගැළවී නැවත නුවරට අවුදින් සතාරහ ගාථාවෙහි බණ අසා සහස්සාරහ වූ පූජා කොට රාජ්‍යයට අනුශාසනා කොට දෙවන දා උදෑසන එකලාව ම පෝරිසාදයාගේ නුග ගස කරා ගිය දෑ ය.

එ වේලෙහි පෝරිසාදයා තැන තැන ගිනි අඟුරු මැල බැඳ සිය ගණන් උල් සැස “එක්සියයක් රජුන් මරා දැන් දැන් බිලියම් දෙමි”යි සිත සිතා බෝසතුන් එනතුරු මග බල බලා සිටියේ ය. එ වේලෙහි බෝධිසත්ත්‍වයෝ පෝරිසාදයාගේ බිලියම් මඩුල්ල හා මලාගිය සපු මල් දම් සේ කෙඳිරි ගසා ගස අතු අත්තෙහි එලෙන රජුන් දැක උපන් මහා කරුණා ඇතිව පෝරිසාදයා හා සමග නොයෙක් විසිතුරු කතා කොට:

පඤ්ච පඤ්ච නඛා භක්ඛඃ - ඛත්තීයෙන පජානතා,

අභක්කං රාජ භක්ඛෙසී - තස්මා අධම්මිකො තුවං - යි.

යනදීන් නොඑක් ප්‍රකාරයෙන් බණ වදාරා ඔහු නරක භයින් තැති ගන්වා දමා, දිවිහිමියෙන් ප්‍රාණයක් නො නසන සේ හික්මවා වදාළ සේක.

ඉක්බිත්තෙන් ඒ දේශනාවෙහි ප්‍රසන්න වූ මනුෂ්‍ය භක්‍ෂක යක්‍ෂාකාර වූ ඒ පෝරිසාදයා පවා බෝසතුන්ගේ ජීවිත ය පූජා කෙළේ ය. එක්සියක් රජුන්ගේ ජීවිත ද පූජා කෙළේ ය. දිවිහිමියෙන් පඤ්චශීලය රක්‍ෂා කොට සම්‍යක් ප්‍රතිපත්තීන් පූජා කෙළේ ය. ඒ සා මරණ භයින් ගැලවුනා වූ එක්සියක් රජ දරුවෝ ද තමන් තමන්ගේ රාජ්‍යශ්‍රීයට පැමිණ දිවි පමණින් ධන පමණින් පූජා කළහ.

මෙසේ මාගේ ස්වාමිදරුවන් බුදු නොව පාරමිතා භූමියෙහි සංසාරගත ව ඇවිදුනා කල පවා පෝරිසාදයා වැනි මනුෂ්‍ය යක්‍ෂයන් දමා මෙසේ මෙසේ වූ පූජා ලත් කල දැන් ලොවුතුරා බුදු ව ආළවක නම් යක්‍ෂයාගේ විමනට වැඩ නොයෙක් පෙළහරින් ඔහු දමා එ දා ඔහුට බිලියමට ගෙනා අළවු රජකුමරුවා හා බත් තටුවෙන් පූජා ලත් නියාව මට කවර ආශ්චර්‍ය්‍යයක් ව වැටහෙන හෙයින් මාගේ බුදුහු අර්හත් නම් වන සේකැ යි කියම් ද. එසේ ද වුවත් මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි:

පූජාවිසේසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලෝකනාථො,

අත්‍ථානුරූපං “අරහං” ති ලෝකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං - යි.

මේ පූජාවලියෙහි අප බුදුන් සංසාර ගත ව ලද

පළමුවනජාතිභෙද පූජා කතා නම් වූ පස්වන පරිච්ඡේදය නිමි.

6. ද්විතීය ජාතිභේද පූජා

තව ද; අප බුදුන් ලද ද්විතීය ජාතිභේද පූජා නම් කවර? යත්;

කට්ඨහාරි ජාතකාදියෙහිදී කළ පූජා

42. මෙසේ සංසාරගතව ඇවිදිනා වූ මේ මාගේ බොධිසත්ත්‍වයෝ කට්ඨහාරී ජාතකයෙහි බරණැස් රජුට දාව දිළිඳු වූ ස්ත්‍රියක කුසින් ඉපැද කට්ඨහාරි නම් කුමාර ව තමන් වහන්සේ බිළිඳි කල වඩා ගෙන ගොස් ඇමැති ගණයා පිරිවරා හුන් රජු පෙරට ව සිට “මහරජ! තොපට දා මේ තොප පුතනුවන් පාවා ගෙන වඩා ගන්ව; මාගේ ගෙය නැත; දොර නැත; හෝනා හිඳිනා තැන් නැත; මම ද අනුන් හිමියෙමි; තොප පුතනුවෝ කමි බොමි යි හඬති” යි ඒ මෑණියන් රන්රුවක් වන් පුතනුවන් පැ පෑ මෙ තෙපුල් කී කල පිරිස් මැද හුන් රජ ලජ්ජාවෙන් කරබා “කෙල්ල! තෝ කුමක් කියයි ද මපුතෙක් නොවෙ” යි කීහ. එබසට මෑණියෝ කිපී “ත පුතෙක් නොවේ නම් අද බිම හී යේවා; ත පුතෙක් වී නම් අහස් කුස ම රඳා හිඳිව” යි කියා බෝසතුන් දෙ කකුල ගෙන සපුමල් දමක් සේ අහසට දැමුව. මෙ කප බුදු වන පිණැ’ති මාගේ ඒ බෝසත් පැටවානෝ එකෙණෙහි ආකාශයෙහි පලක් බැඳ හිඳ මතු ශුද්ධෝදන රජ වන පින් ඇති ඒ පියරජහු මුහුණ ප්‍රේමයෙන් බලා කුරවීක නාදයක් සේ ප්‍රිය වූ නාදයෙන්:

පුත්තොත්‍යාහං මහාරාජ - තං මං පොස ජනාධිප,

අඤ්ඤෙපි දෙවො පොසෙති - කිඤ්ච දෙවො සකං පජං - යි

යන මේ භයින් රජහු පෙම් වඩා බුද්ධ ලීලායෙන් බණ කී දෑ ය. එ කෙණෙහි සතුටු වූ දහසක් ඇමැතියන් දෙදහසක් අත් නගා වැඳ වැඳ තමන් තමන් අතට බස්නට ආරාධනා කළ කල පිය රජහු පෑ අතට මී බැස ඇකය පිට හිඳ පෙම් වැඩූ සේක. සතුටු වූ රජ එම විට ම දොළොස් යොදුන් බරණැස් නුවර හා රජ සැපත පූජා කෙළේය.

43 තව ද: සුසීම ජාතකයෙහි හස්තිවේද දන්නා පුරෝහිත බ්‍රහ්මණකුලෙහි ඉපැද තමන් පියාණන් අයාමෙහි හස්තිමඞ්ගල කාලයෙහි දී අපවත් වන ධනශෝකයෙන් වලප්නා මෑණියන් දැක උපන් ලජ්ජාවෙන් සත් හැවිරිදි වයස එක්සිය විසි යොදුන් මග ගෙවා එම දාම තක්සලා නුවරට වැද දිසාපාමොක් ආචාර්යයන් දැක ගුරුපූජා කොට එක දා රාත්‍රියෙහි ම ලක්‍ෂයක් ග්‍රන්‍ථයෙන් පිරුණු වූ හස්තිශිල්පය නිමවා ධරාගෙන ආචාර්‍ය්‍යයන්ටත් ගැට තැන් සැක හැර උගන්වාලා දෙවන දා නැවත බරණැස් නුවර අවුත් වැඳ මෑණියන් අස්වසාලා තුන්වන දවස “මම ඇත් මඟුල් කෙරෙමි”යි රජු පිරිවරා සිටගත් දහස් ගණන් බමුණුගනා මැද ඇත්මුළක් මැදට වන් කේශරසිංහ පැටවකු සේ කිසි කෙනකුන් කෙරෙහිත් භය නැති ව “මේ දඹදිව තෙලෙහි මා විනා හස්තිශිල්පය නිමවා දන්නා අන් කවර සතෙක් ඇද්දැ”යි ගර්ජනා කොට හැම බමුණන් පරදවා රජු බල බලා සිටියදී දක්‍ෂ ව ඒ හස්තිමඞ්ගලය කළ සේක. එ කෙණෙහි සතුටු වූ ඒ සුසීම නම් රජු හා අගමැතියෝ නවකෙළක් පමණ මහත් ධන රාශියෙකින් බෝසතුන්ට පූජා කළහ.

44. තව ද: සම්භව ජාතකයෙහි බරණැස බ්‍රහ්මදත්ත නම් නරපතිහුගේ විධුර නම් පණ්ඩිතයන්ට පුත්‍ර ව සත්හැවිරිදි සම්භව නම් කුමාර කල වැලි කෙළනා වූ මාගේ ඒ බුද්ධාංකුරයාණෝ කොරව්‍ය නම් රජහුගේ [33]සුචිර නම් පුරෝහිත බ්‍රාහ්මණයා අවුත් සිට ධම්මයාග නම් පැනය විචාළ දා බුද්ධලීලායෙන් ප්‍රශ්න ව්‍යාකරණය කොට එකෙණෙහි සතුටු වූ රජ යුවරජ මහ ඇමතියන් විසින් දමන ලද සියක් ලක්‍ෂයක් ධනරාශියෙකින් පුජා ලත් සේක.

45. තව ද: දේව ධර්‍ම ජාතකයෙහි බරණැස බ්‍රහ්මදත්ත රජහුගේ අගබිසොවුන් කුසින් බිහිව අහිංසක නම් රාජපුත්‍ර වූ මාගේ බෝධිසත්ත්‍වයෝ චන්‍ද්‍රසූර්‍ය්‍ය නම් වූ මල් කුමරුවන් දෙන්නා හා සමග තපසට වලට යන දා කමි යි අල්වා ගත් උදක රාක්‍ෂසයාට දේව ධර්‍ම නම් වූ ධර්මදේශනාව කොට ඔහු සන්තෝෂ කරවා තුන්බෑ රජුන්ගේ ජීවිත පූජා ද, ඔහු විසින් ම මවා දෙන ලද පන්සැල් පූජා ද නිත්‍යයෙන් කරන ලද අත්පා මෙහෙ පූජා දැයි එක ජාතියෙහි ම තුන් පූජාවක් ලත් සේක.

46. තව ද: න්‍යග්‍රොධමෘග ජාතකයෙහි මෘගරාජන් වූ බෝසතාණෝ වදන මුවදෙනකගේ මරණ භය දැක උපන් මහා කරුණාවෙන් [34]“තී මැරේයයි (නොසිත) මාගේ ජීවිතය දෙමි” යි ඈ අස්වසා දං ගෙඩියෙහි හිස තබා ජීවිතදානය දී ඔත්සේක. ඒ ආශ්චර්‍ය්‍යය අසා අවුත් දැක සතුටු වූ බ්‍රහ්මදත්ත රජහට බුදුතුඩෙකින් බණකියන්නා සේ මුවතුඩින් දශරාජධර්‍මයෙන් බණ වදාළ සේක. ඒ සද්ධර්‍මම ප්‍රීතියෙන් මත් වූ රජ බෝසතුන්ගේ ජීවිතය ද පූජා කෙළේ ය. සියලු අපාද ද්විපාද චතුෂ්පාදා දි සතුන්ගේ ජීවිත පූජා ද කෙළේ ය.

47. තව ද: පඤ්චායුධ ජාතකයෙහි බ්‍රහ්මදත්ත රජහට පුත් ව දුනු මුගුරු කඩු සිරි අඩයටි යන පඤ්චායුධ නිමවා දත් හෙයින් පඤ්චායුධ නම් කුමාර ව සොළොස් හැවිරිද්දෙහි තක්සලා නුවරට ගොස් සූසැට කලා ශිල්පයන් ද නිමවා නැවත බරණැස් නුවර වඩනා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ සුචිලෝම නම් යක්‍ෂයාට අසු ව විර්‍ය්‍යපාරමිතාවෙන් ඔහු ජයගෙන, ප්‍රඥා පාරමිතාවෙන් බණ කියා ඔහු සන්තෝෂ කැරවූ දෑ ය. ප්‍රසන්න වූ ඒ චණ්ඩ යක්‍ෂයා පවා මාගේ බෝධිසත්ත්‍වයන්ගේ ජීවිතය පූජා කෙළේය.

48. තව ද: වානරින්‍ද ජාතකයෙහි කපි රාජන් වූ මාගේ බෝධිසත්ත්‍වයෝ තමන් කමි යි කට දල්වා සැඟවී ගලතළ වැද හොත් දෙවිදත් කිඹුලා දැක දානපාරමිතාවෙන් ඔහු වඤ්චා කොට ඒ කිඹුලාගේ ම කටට පැනපියා ඕහට අසු නො ව අභිමතස්ථානගත වූ දෑ ය. ඒ වික්‍රම ය දැක සතුටු වූ කිඹුලා:

යස්සෙතෙ චතුරො ධම්මා - වානරින්‍ද යථා තව‍,

සච්චා ධම්මො ධිතී චාගො - දිට්ඨං සො අතිවත්තති - යි.

යන මේ ගාථාව අඬගා කියා බෝසතුන්ට ස්තුති පූජා කෙළේ ය.

49. තව ද: මච්ඡ ජාතකයෙහි මස් රජ ව උපන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ ඝර්‍මකාලයෙහි දිය සිඳී කර්‍මබලයෙන් මියයන්නා වූ බොහෝ නෑයන් දැක ඉඳුනිල් මිණි සඟලක් සේ ඉතා ප්‍රසන්න වූ තමන්දැගේ ඇස්දෙක දල්වා ආකාශය බලා:

අභිත්‍ථනය පජ්ජුන්න - නිධිං කාකස්ස නාසය,

කාකං සෝකාය රන්‍ධෙහි - [35]මඤ්ච සෝකා පමෝචය - යි.

යන මේ විසිතුරු ගයින් සත්‍යක්‍රියා කළසේක. ඒ සත්‍යක්‍රියාවෙහි සතුටු වූ වැස්ස වලාහක දිව්‍යපුත්‍රයා ඝන මහා වර්ෂාවක් වස්වා පූජා කෙළේ ය.

50. තව ද: ගුත්තිල ජාතකයෙහි ගුත්තිල ගාන්‍ධවර්‍ නම් වූ මාගේ බෝධිසත්ත්‍වයෝ මනුෂ්‍යාත්මයෙහි සිට ම ශක්‍රදේවේන්‍ද්‍රයාගේ විජයොත් නම් දිව්‍යරථයෙන් ශක්‍රභවනයට ගොස් දෙ කෙළ පනස් ලක්‍ෂයක් දිව්‍යාඞ්ගනාවන් මධ්‍යයෙහි වීනා ගායනාකොට දිව්‍යයන් සන්තෝෂ කැරවූ දෑ ය. ඒ ආශ්චර්‍ය්‍යයෙහි ප්‍රසන්න වූ සක්දෙවි රජ සත් දවසක් මුළුල්ලෙහි තමාගේ ශක්‍රසම්පත් දී පූජා කෙළේ ය.

51. තවද : කණ්හ ජාතකයෙහි අසූ කෙළක් පමණ ධන ඇති බ්‍රාහ්මණ මහාසාර සැපත් හැර වල් ගොස් අටවිධ වූ තපස් අතුරෙන් දන්තලූය්‍යක නම් වූ සවන තපස් කොට නමුද්ධග්‍යක් මුල හිඳ වාසය කරණ දෑ ය.

අටවැදෑරුම් තපස්කම්

අට විධ වූ තපස් නම් කවර? යත් සපුත්තදාරකය, උංඡාචාරිකය සම්පත්තකාලක ය, අනග්ගිපක්කික ය, අසම්මුට්ඨික ය, දන්තලුය්‍යක ය, පවත්තඵලක ය, චණ්ටමුත්තක යයි යන මේ අට තපස් නම.

එහි විභාග මෙසේයි: සමහර කෙනෙක් අඹු දරුවන් කෙරෙහි ලෝබ ය ඇති ව ඔවුන් හැරපිය නොහී අඹුදරුවන් හා සමඟ ඉසි වෙස් ගෙන කෘසි වණික් ආදි නිරවද්‍ය කර්මාන්තයෙන් දවස් යවන්නාහු ය. ඔහු සපුත්තදාරක නම් වෙති.

සමහර කෙනෙක් වලට නො ගොසින් නුවර දොර පන්සැල් කරවා ගෙන එහි රජ බමුණු වෙළෙඳ සිටු දරුවන් අකුරු කරවා රන් රිදී මසු කහවණු නො පිළිගෙන උඳු මුං තලතෙල් සහල් ආදි කප්පිය භාණ්ඩයන් රැස් කොට වාසය කෙරෙති. ඔහු උඤ්ජචාරිකයෝ නම් වෙති. ඒ තපස පළමුවන තපසට වඩා උග්‍රය.

සමහර කෙනෙක් කිසි පළිරෝධයක් නැති ව ඉසිවෙස් ගෙන වෙලාවට ගම් වැද භික්‍ෂාටන ය කොට ලද දෙයෙකින් යැපී තපස් කෙරෙති. ඔහු සම්පත්තකාලක නම් වෙති. ඔවුන්ගේ තපස දෙ වන තපසට වඩා උග්‍ර ය.

සමහර කෙනෛක් ගිනි නොවන් වන මුල් ඵලාපල ශාඛාදීන් අනුභව කොට තසප් කෙරෙති. ඔහු අනග්ගිපක්කිකයෝ නම් වෙති. ඔවුන්ගේ තපස තුන් වන තපසට වඩා උග්‍ර ය.

සමහර වීර පුරුෂ කෙනෙක් මිටි වාණක් හෝ තෙසු සැතක් හෝ අතින් ගෙන වෙනෙහි ඇවිද දුටු යම් ගසෙකින් පොතු මුල් ආදිය තලා ගෙන අනුභව කොට පෙහෙවස් ඉටා ගෙන සතර බ්‍රහ්මවිහාර භාවනාවන් කොට වාසය කෙරෙති. ඔහු අසම්මුට්ඨිකයෝ නම් වෙති. ඔවුන්ගේ තපස සතර වන තපසට වඩා උග්‍ර ය.

සමහර විරපුරුෂ කෙනෙක් ඒ මිටි වාණාදියත් නො ගෙන දුටු යම් ගසෙකින් පොතු [36]මල් ඵල ජාති ආදිය දතින් උරා ගෙන අනුභව කොට දවසින් දවස උපෞෂථාඞ්ගය ඉටා බ්‍රහ්මවිහාර භාවනා කෙරෙති. ඔහු දන්තලූය්‍යක නම් වෙති. ඔවුන්ගේ තපස් පස් වන තපසට වඩා උග්‍ර ය.

සමහර කෙනෙක් එක් විලක් හෝ එක් වන ලැහැබක් හෝ ගොදුරුගම් කොට සිතා හිඳගෙන අනික් තෙනකට නො ගොසින් ඒ විලෙහි ම නෙළුඹල නෙළුඹුදැලි ඕළු ආදිය හේ එම වෙනෙහි මල් සමයෙහි මල්, ඵල සමයෙහි ඵල, කොළ සමයෙහි කොළ අනුභව කෙරෙති. යටත් වසයෙන් සෙසු සමයෙහි ගැටසුඹුලු ආදිය අනුභව කෙරෙති. ගොදුරු නිසා අනික් කිසි තැනකටත් නො ගොස් නිත්‍ය ශීලය රක්‍ෂා කොට බ්‍රහ්මචර්‍ය්‍යාව රක්‍ෂා කෙරෙති. ඔහු පවත්තඵලකයෝ නම් වෙති. ඔවුන්ගේ තපස සවන තපසට වඩා උග්‍ර ය.

සමහර වීරපුරුෂ කෙනෙක් සෘෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි ව ගෙන වල් ගොස් එක රුකක් මුල හිඳගෙන මල් ඵල කොළ නටුයෙන් ගිලිහී සමීපයෙහි වැගිර ගිය කල අත පොවන මානයෙහි තුබූ දෙය ඇරගෙන අනුභව කෙරෙති. ස්වහස්තයෙන් බිඳගෙන අනුභව නො කෙරෙති. ඔහු වණ්ටමුත්තකයෝ නම් වෙති. ඔවුන් ගේ තපස සත්වන තපසට වඩා උග්‍ර ය.

මොහු අටදෙන ම පඤ්චශීලය රක්‍ෂා කොට පඤ්චාභිඥා අෂ්ටසමාපත්තිලාභී වෙත් ම ය. ගුණයෙන් වනාහි ක්‍රමක්‍රමයෙන් ම උත්තමයහ යි දතයුතු.

මේ අට තපසින් එ කල දන්තලුය්‍යක නම් වූ සවන තපස කොට ශීල බෙලෙන් ශක්‍රදේවේන්ද්‍රයාගේ; දිග සැට යොදුන් පුළුල පනස් යොදුන්, බොල පසළොස් යොදුන්, බඳුවද පෙත්තක් හා සමාන පැහැ ඇති, ඔහු උන් කල නාභිමණ්ඩල ය දක්වා ගැලී යන්නා වූ, නැගි කල භෙරි තලයක් සේ තැනී යන්නාවූ, හුණු කැමැති කල හුණු ව පවත්නා වූ, සිහිල් කැමැති කල සිහිල් ව පවත්නා වූ, පාණ්ඩුකම්බල නම් ශෛලාසන ය ශිල තේජසින් හුණු කරවා ඒ ශක්‍රයා ගෙන්වා විශේෂ වූ ප්‍රශ්න ව්‍යාකරණයෙන් ඕහට ධර්ම දේශනා කළ සේක. ඒ දේශනාවෙහි සන්තෝෂ වූ සක් දෙව් රජ ඒ වැඩහුන් ගස සහ මිල්පල්ලෙන් මවා ධ්‍රැවඵලයෙන් පූජා කොට ගියහ.

අකීර්ති ආදි ජාතකවලදී කළ පූජා

53. තව ද: අකීර්ති ජාතකයෙහි අසූ කෙළක් සැපත් හැර බරණැස් නුවරින් පිටත් ව ක්‍රමයෙන් කාර දිවයින් වැඩ එ කල එකලා ව කරගසක්මුල වැඩහිඳ කරපළා වළඳා පවත්තඵලක නම් වූ සත්වන උග්‍ර තපස කොට ඔහු වැඩහුන් තැනට ගෙන්වා ඔහු ම විචාරණ ලද පැන ය කියා බුද්ධලීලායෙන් ධර්ම දේශනා කළ දෑ ය. එදා ද සන්තෝෂ වූ සක්දෙව්රජ අසාධාරණ වූ වර අටෙකින් පූජා කොට ගියහ.

53. තව ද: සඞ්ඛ ජාතකයෙහි සඞ්ඛ නම් බ්‍රාහ්මණ ව දන් දෙනු සඳහා ධන සොයමින් මුහුදු නැගී ගොස් මුහුදු මැද දී නැව නැසිගිය කල සත් දවසක් මුළුල්ලෙහි නිරාහාර ව මහත් වූ වීර්යයෙන් තෙරක් දකිමි යි මුහුදු පිහිනන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ සම්පූර්ණ වූ චන්‍ද්‍රයා දැක ‘මියෙතත් පෞෂථාඞ්ග [37]ශීලය නො වරදවා අටගසිල් සමාදන් ව ශීලබලයෙන් මණිමේඛලා නම් දෙව්දුව ගෙන්වා ප්‍රිය කතාවෙන් ඈ සන්තෝෂ කැරවූ සේක. එදා සතුටු වූ ඒ මණිමේඛලා නම් දෙව්දුව දිග අටසියක් රියන්, පුළුල සාරසියක් රියන්. ගැඹුර සියක් රියන් පමණ ඇති, ඉන්‍ද්‍රනීල මාණික්‍යමය වූ කුඹ ඇති, සත් රුවන්මය වූ කඹ ඇති, රිදිමය වූ රුවල් ඇති, ඝනරන්මය වූ රිටි හා පළු පත් ඇති, සත්රුවන් නැවක් හා එහි පිරූ සත්රුවන් සමූහයකින් පූජා කොට බෝසතුන් මෝළිනී නම් නුවර පිහිටුවා ගියාහ. කීයේමැනෝ:-

සා තත්‍ථ චිත්තා සුමනා [38]පණීතා - නාවං සුචිත්තං අබිනිම්මිණිත්‍වා

ආදාය සඞ්ඛං පුරිසෙන සද්ධිං - උපානයි නගරං සාධු රම්මං - යි.

54. තව ද: ඛදිරඞ්ගාර ජාතකයෙහි ධනසිටු ව උපන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ පිඬු සිඟා වැඩ සිටි පසේ බුදුන් දැක පස්වනක් ප්‍රීතීන් පිනා ලක්‍ෂයක් අගනා බත් තලියක් ගෙන ගොස් පසේ බුදුන් ඉදිරියෙහි සිටි දෑ ය. එ කෙණෙහි වසවත් මර බෝ සතුන්ගේ දානාන්තරාය හා පසේ බුදුන්ගේ ජීවිතාන්තරාය කෙරෙමියි අතුරෙහි නරක ගිනි වළක් මවා ලී ය. ඒ ගිනිවළ දැක:

කාමං පතාමි නිරයං - උද්ධපාදො අවංසිරො,

නානරියං කරිස්සාමි හන්‍ද පිණ්ඩං පටිග්ගහ - යි.

යන මේ ගාථාව කියා ඒ ගිනිමැදට පිනූ දෑ ය. එ කෙණෙහි ඒ ගිනි අන්තර්ධාන ව පොළොව පලා මහ ගැල් සකස් සා පියුමෙක් පැනනැගී බෝසතුන්ගේ ශ්‍රීපාදය පිළිගෙන සුවඳ මුවරද ගඳින් පූජා කෙළේය.

55. තව ද: සස ජාතකයෙහි සස රාජන් ව පෙහෙවස් රක්‍ෂා කරන්නා වූ මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ තමන්ගේ ශ්‍රද්ධා බල බලමි යි සිතා දිළිඳු වෙසක් මවා බඩසා ය යි අවුත් සිටි ශක්‍ර බ්‍රාහ්මණයා දැක සන්තෝෂ උපදවා “අද මාගේ ඇඟ මස් පළහා කවා තාගේ සාදුක් නිවමි යි, ගිනි ගෙනැ”යි කී කල ඒ ශක්‍රයා මවා පෑලූ නරක ගින්නක් සේ භයංකාර වූ ගිනිරස් දැක තුන් විටක් ඇඟ කිළි පොළා ගිනි ගොඩ මැදට පැන ගිනි පළා පැනනැඟි පියුම්ගබ රාජහංස ලීලායෙන් වැඩහිඳ “බමුණ! තාගේ ගිනි ඉතා සිහිල් වනැ”යි ඕහට ආශ්චර්‍ය්‍ය තෙපුල් කී දෑ ය. එ කෙණෙහි ප්‍රසන්න වූ සක්දෙව්රජ බෝසතුන් වඩාගෙන මුදුනෙන් පුදා “හිමි! මම බමුණෙක් නො වෙමි; දෙ දෙව්ලොවට අධිපති වූ සක්දෙව්රජ නම් මම් ම යැ”යි කිය ස්තුති පූජා කොට, පර්‍වතයක් පළා යුස ගෙන එකුන් පනස් යොදුන් සඳමඬලෙහි බෝසතුන්ගේ සස රූප ය හැඳ කල්පාන්ත පූජා කොට ගියේ ය.

56. තව ද: තුණ්ඩිල සූකර ජාතකයෙහි සූකර රාජන් වූ මාගේ බෝධිසත්ත්‍වයෝ ‘තමන් මරා ඇඟ කම්හ’යි පොලු මුගුරු ගෙන වටා සිටගත් රා සොඬුන් දෙතිස්දෙනා[39] මැද තුණ්ඩිලෝවාදය කරණ වේලෙහි ඒ ආශ්චර්යය ඇසූ රජ යුවරජ මහ ඇමතියන් අවුත් පිරිවරාගත් කල දොළොස් යොදුන් බරණැස දොර දොර කියන බණක් සේ බුද්ධලීලායෙන් වැඩහිඳ:

ධම්මො රහදො අකද්දමො පාපං සෙදමලන්ති වුච්චති,

සීලං න වණ්ණං විලෙපනං තස්ස ගන්‍ධො න කදාචි ඡිජ්ජති-යි

යනාදීන් බණ කියා එ කෙනෙහි බරණැස් රජුගෙන් මුළු දඹදිව රාජ්‍යය පුදවාගෙන මහත් වූ සත්කාර ලත් සේක. එදා දෙසූ ධර්මයෙන් හික්මුනා වූ සත්ත්‍වයෝ සැටදහසක් හවුරුදු මුළුල්ලෙහි බෝසතුන්ට ප්‍රතිපත්ති පූජා කළාහු ය.

56. තව ද: තෙසකුණ ජාතකයෙහි ජම්බුක නම් ගිරා පණ්ඩිත ව බ්‍රහ්මදත්ත රජහුගේ සිංහාසන මස්තකයෙහි වැඩහිඳ පඤ්චබල ප්‍රශ්නය එ රජු විචාළ වේලෙහි:

බලං පඤ්චවිධං ලෝකෙ පුරිසස්මිං මහග්ඝතෙ

තත්‍ථ බාහුබලං නාම චරිමං වුච්චතෙ බලං.

.

භෝගබලං ච දීඝායු දුතියං වුච්චතෙ බලං,

අමිච්චබලං ච දීඝායු තතියං වුච්චතෙ බලං;

පඤ්චබලෙනු‘පත්‍ථද්ධො අත්‍ථං වින්‍දති පණ්ඩිතො - යි.

යනාදීන් පඤ්චබල ප්‍රශ්නය හා දශරාජ ධර්‍මෙයන් ජම්බුකොවාද නම් ධර්මදේශනාවත් ගිරාතුඩින් කළ දෑ ය. ඒ දේශනාවෙහි සන්තෝෂ වූ රජු හා අමාත්‍යයෝ සේනාධිපති ධුරය දී අප්‍රමාණ වූ ධනයෙන් පුජා කළහ.

58. තව ද: සාලිකේදර ජාතකයෙහි ගිරා රජ ව ජීර්ණ වූ මවුපියන්ට මෙහෙ කරන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ තමන් බදා ගෙන්වා ගත් සාලින්‍දිය නම් බ්‍රාහ්මණයාගේ ඇකයේ සැකයක් නැති ව වැඩහිඳ:

මාතා පිතා ච මේ වුද්ධා ජිණ්ණකා ගතයොබ්බනා,

තෙසං තුණ්ඩෙන ආදාය මුඤ්චෙ පුබ්බෙ කතං ඉණං’යි.

යනාදීන් බණ කියා ඔහු ද සන්තෝෂ කළ දෑ ය. එ දා ඒ සාලින්‍දිය බ්‍රාහ්මණයා පැසුනු පිටින් බිජුවට අටකිරිය හැල් කෙතක් පූජා කෙළේ ය.

59. තව ද: සුතනු ජාතකයෙහි සුතනු නම් කුමාර ව දිළිඳු වූ කුලයෙක ඉපැද වැන්දඹු වූ මෑණියන්ට මෙහෙ කොට පින් පුරන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ දුක්පත් මෑණියන්ට මසු දහසක් දෙවා බත් තලියක් ගෙන යක්‍ෂයකුට බිලියමට ගොස් බණ කියා ඔහු දමාගෙන ආලවකයා සේ ම ඉතා තද වූ ඒ යක්‍ෂයා අතින් ගැළවී අභයදානය පුජා ලත් සේක. ඒ ආශ්චර්යය දුටු රජ යුවරජ මහ ඇමැතියෝ එ දා අප්‍රමාණ වූ ධන සමූහයෙකින් පූජා කළහ.

60. තව ද: අසදිස ජාතකයෙහි අසදිස නම් රාජකුමාර ව ධනුර්වේදය නිමවා දැන වෙස් වළා නුවරින් ගොස් පසල් රජෙකුට සේවක ව දවස දහසක් වැටුප් ලදින් වැස අඹකැන විද ධනුශිල්ප පානා දා පළමු ව විදි ශරයෙන් නටුව භාගයක් කපා දෙසාළිස් දහසක් යොදුන් නැගී දෙව්ලොව වන් කල, දෙවනුව විදි ශරයෙන් ඒ ශර පුඞ්ඛය පැහැර බිම හෙන හරයෙන් අඹකැන තුබූ නටු බාගයක් සිඳුවා දකුණතින් ශරය හා වමතින් අඹකැන ගෙන සිට රජ පිරිස විස්මය පත් කළ දෑ ය. එකෙණෙහි කුල්මත් වූ රජ යුවරජ මහ ඇමතියෝ කෙළ පමණ ධන රාශියෙකින් පූජා කළහ.

61. තව ද: මාතුපෝසක ජාතකයෙහි ඇත් රජ ව උපන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ අන්‍ධ වූ මෑණියන්ට අත් පා මෙහෙ කරන ලෝභයෙන් ම හස්තිරාජ්‍යය හැරපියා චණ්ඩොරණ නම් පර්වතයට ගොස් මෑණියන්ට අත් පා මෙහෙ කරන දෑ ය. එකල ඒ ආශ්චර්යය දුටු බ්‍රහ්මදත්ත රජු හා දඹදිව වැසියන් හා බෝසතුන්ට දිවි පමණින් වැටුප් තබා දී ඔබ ඇවෑමෙහි එ තැන බෝසතුන් වැනි හස්ති රූපයක් කරවා හස්තිම්හ නම් වූ පූජාවක් දිර්ඝ කාලයක් මුළුල්ලෙහි දවස් පතා කළාහු ය.

62. තවද චුල්ලහංස ජාතකයෙහි ශ්වේතහංස රාජන් ව උපන්නා වූ මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ බ්‍රහ්මදත්ත නම් රජහුගේ සිංහාසන නැගී වැඩහිඳ හංසතුඩින් විසිතුරු වූ බණ කියා ලොව විස්මය පත් කරවූ සේක. එ දවස් සද්ධර්ම ප්‍රීතීන් මත් වූ රජ දළපුඩු සේසත හා සමග බරණැස් රාජ්‍යෙයන් පූජා කෙළේ ය.

63. තවද: විධුර ජාතකයෙහි විධුර නම් මහා පණ්ඩිත වූ මාගේ බෝධිසත්ත්‍වයන් වහන්සේ චතුපොසථ නම් පැනය කියා ශක්‍ර ගරුඬ නාග මනුෂ්‍ය යයි යන රජදරුවන් සතරදෙනාගේ ශීල විවාදය දුරු කළ සේක. ඒ බණ අසා ශක්‍රදේවේන්‍ද්‍රයා ප්‍රසන්න වූ දොළොස් යොදුන් දිව සළුවක් පූජා කෙළේ ය. වෙනතෙය්‍ය නම් ගරුඬරාජයා රන් මාලාවකින් පූජා කෙළේ ය. වරුණ නම් දිව්‍ය නාග රාජයා කණ්ඨමාණික්‍යයෙන් පූජා කෙළේ ය. ධනඤ්ජය කොරව්‍ය රජ හස්තිරාජයකු හා ගවයන් දහසක් හා අසුන් යෙදූ රථ දහසක් හා ගම්වර සොළසකින් හා පූජා කෙළේ ය.

තව ද: එම ජාතකයෙහි තමන් මරා හදවත ගනිමි යි සැට යොදුන් කලාගිරි පර්වතයට පැන නැගී පූර්ණක නම් යක්‍ෂ සේනාධිපතියාට සාධුකාර ධර්මදේශනාවෙන් බණ වදාළ සේක. එදා ප්‍රසන්න වූ ඒ පූර්ණක නම් යක්‍ෂයා බෝසතුන්ගේ ජීවිතය හා අනර්ඝ වූ චින්තාමාණික්‍ය රත්නයකින් පූජා කෙළේ ය.

64. තව ද: මහා උම්මග්ග ජාතකයෙහි වේදේහ රජුහුගේ මිථිලා නුවරට පූර්වදිග්භාගයෙහි යව මැදුම්ගම ‘සිරිවඩ්ඪන’[40] නම් ගෘහපතිහුගේ සුමනා නම් සිටුදුව කුස පිළිසිඳ දසමස් පුර ශක්‍රදේවේන්‍ද්‍රයා දෙන ලද දිවසඳුන් ගැටයක් මිටින් ගෙන මවුකුසින් බිහි ව උපන් කෙණෙහි ම “අම්මි! මහෞෂධයකැ”යි මෑණියන් හා සමග ප්‍රිය කතා කොට ඒ ආශ්චර්යය දැක මහෞෂධ කුමාර යයි යන නමින් ප්‍රසිද්ධ වූ මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ දහසක් සිටුකුමරුවන් හා සමග තරුමැද සඳ සේ වැඩී දඹදිව්තෙලෙහි පැන දන්නවුන්ට අග්‍රව විශ්වකර්ම නිර්මිතයක් සේ විචිත්‍ර වූ චිත්‍රකර්මාන්තයන් හෙබියා වූ ක්‍රීඩාශාලාවක් හා සියක් පැන් තොටින් හා දහසක් වකින් විසිතුරු වූ පැන් පොකුණක් හා නඳුන් උයන සේ උයනකුදු කරවා සත් හැවිරිද් වූ කුමාර ක්‍රීඩාවෙන් වැස දඹදිව බුද්ධෝත්පාද කාලයක් සේ ප්‍රශ්න ව්‍යාකරණයෙන් බබුළුවා මෙසේ වසන කල.

ලිහිණිය ගෙන යන මස්කැටිය උඩ නො බලා බිම හෙළවාගත් පැනය. ගොන්ගෙය බැඳගෙන යන සොරු අසු කොට දී ලූ පැන ය. ගැට හූ පලඳනාව සඟවා ගත් සෙර අසු කොට දුන් පැනය හූවැටිය හිමියන් හිමි කොට ලූ පැනය. යකින්න තමා දරුවෝ යයි අල්වාගෙන ගොස් කමි යි සිතූ දා එ කුමරු රැක දී ලූ පැනය. කාළගෝලයා හා දික්පිටියා හා දික්තල හා තුන්දෙනාගේ ස්ත්‍රිවාදය සිඳ දී ලූ පැනය. ශක්‍රයා කළ රථවාදය බිඳ දී ලූ පැන ය. කිහිරි හරෙහි අග මුල තෝරා ලූ පැන ය. ස්ත්‍රියගේ හා පුරුෂයාගේ මිනි ඉස් තෝරා ලූ පැන ය නයී හා සැපින්නගේ වෙනස දක්වා ලූ පැනය. කුකුළකු එවන්නේ යයි වෘෂභ වඤ්චාවෙන් කියායැ වූ පැන ය. අෂ්ටවඞ්ක මාණික්‍යෙයහි හූ ලාලූ පැනය. මඞ්ගල වෘෂභයා දරුවන් වදවන්නේ යයි කියා එවූ පැනය. අෂ්ටාඞ්ගයෙන් යුක්ත වූ පැසිබත් පිස එවන්නේ යයි කී පැන ය. පස් පියුමෙන් පිරි පොකුණක් එවන්නේ ය යි කී පැන ය. විසිතුරු උයනක් එවන්නේ ය යි කී පැනය. වැලි යොතින් ඇඹරූ කඹයක් එවන්නේ යයි කියා එවූ පැන ය යන මේ සතළොස් පැනය සත් හැවිරිදි අවස්ථාවෙහි බුදුකෙනකුන් සේ කියා මුළු දඹදිව ප්‍රසිද්ධ ව ගද්‍රභ නම් පැන රජු දුටු දා කියා එ තැන් පටන් සිටුපුත්‍ර භාවය හැර රාජපුත්‍ර ව රජුගේ හෙයි වැඩී තල්ගස තුබූ මිණිරුවන නුවණින් පෑ ලූ දා සතුටු වූ ඒ වේදේහ රජහු විසින් දෙනලද දහසක් මුතුවැල් හා ලක්‍ෂයක් වටනා මුතු හරකින් මේ උම්මග්ග ජාතකයෙහි පළමුවන පූජාව ලත්සේක.

තව ද කකණ්ටක නම් පැනය කී දා එ නුවරට නිම්න සතර සුංගමෙහි අයින් දෙවන පූජාව ලත් සේක.

තවද: සිරිකාලකණ්ණි නම් ප්‍රශ්න ව්‍යාකරණය කළ දා ලක්‍ෂයක් ධනයෙන් තුන් වන පූජව ලත් සේක.

මිත්‍රකම් කළ එළුවා හා බල්ලාගේ ප්‍රශ්නයෙන් ජය ගත් දා අසුන් යෙදූ රථ දහසක් හා ලක්‍ෂයක් නිමවන ගම්වරකින් සතර වන පූජාව ලත් සේක.

බුදුකෙනකුන් සේ සිරිමන්‍ද නම් ප්‍රශ්නය කියා සේනකයා දිනූ දා හස්ත්‍යලඞ්කාරයෙන් හෙබි හස්තිරාජයකු හා ගවයන් දහසක් හා අසුන් යෙදූ රථ දහසක් හා සමෘද්ධ වූ ගම්වර සොළොසකින් හා පස්වන පූජාව ලත්සේක.

ඡන්නපථ නම් පැනයෙන් අමරාඞ්ගනා නම් වූ අඞ්ගනාවක ලදින් ඛජ්ජො පණක නම් පැන ය කියා භූරි නම් පැනයෙන් ධර්මදේශනා කළ දා රජහුගේ දළපුඩු සේසත අරක් ගත් දේවතා දුව විසින් සතුටු ව පුදනලද දිව රන් කරඬු සතරකින් දිව මල් සුවඳ සතර කරඬුවක් සතර වාරයෙක පාදමූලයෙහි පුදවා ඈ ලවා සාධුකාර දෙවා මෙම ජාතකයෙහි ම සවන පූජාව ලත් සේක.

තව ද එම දා ම ප්‍රසන්න වූ ඒ වේදේහ රජුන් විසින් දෙන ලද සේනාධිපති ධුරයෙන් සත්වන පූජාව ලත් සේක.

තව ද: පඤ්චපණ්ඩිත ප්‍රශ්නයෙහි දී සේනකාදී පණ්ඩිතවරුන් ජයගෙන එ තැන් පටන් රජුහට අනුශාසනා කොට එක මන්ත්‍රීධුරයෙන් වාසය කරන කල බරණැස උත්තරපඤ්චාල නම් නුවර චූළනී බ්‍රහ්මදත්තරජු හා කේවට්ට නම් පුරෝහිත බ්‍රාහ්මණයා හා චතුෂ්කණී නම් මන්ත්‍රණයක් කොට එක්සියයක් රාජධානීන් සාදා, එක්සියයක් රජුන් ගෙන එක්සියයක් සිටුන් ගෙන එක්සියයක් අගබමුණන් ගෙන එක්ලක්‍ෂ දෙසැට දහසක් මතැතුන් හා එක්කෙළ දෙසැට ලක්‍ෂයක් රථ හා එක්සිය දෙසැට කෙළක් අස් සෙනඟ හා සොළොස් දහස් දෙසිය කෙළක් බළ සෙනග හා එකුන් සතලිස් දහසක් මහා යෝධයන් හා අටළොස් අක්‍ෂෞහිණී පමණ මහසෙනඟ ගෙන, තමන් හුන් සත් යොදුන් මියුලු නුවර තුන් වළල්ලකින් වටලා ගත් කල මාගේ ශ්‍රීමහා බෝධි සත්ත්‍වයාණෝ ඇත්මුලක් මැදට වන් සිංහපොව්වකු සේ තමන් ඇඟ ලෝමයෙකුත් භයක් නැති ව සතුන් දැක මරණ භයින් වෙවුලන වේදේහ රජු කරා ගොස් සිට:

පාදෙ දෙව පසාරෙහි භුඤ්ජ කාමෙ රමස්සු ච,

හිත්‍වා පංචාලියං සෙනං බ්‍රහ්මදත්තො පලායති - යි.

යන මේ අභීත වූ ගාථා නාදයෙන් ඒ රජහු අස්වසාලා තමන්ගේ දහසක් පමණ යෝධයන් හැරගෙන වික්‍රම කරන සේක් සාරමසක් මුළුල්ලෙහි නුවර සිසාරා හිඳගෙන බ්‍රහ්මදත්ත නම් රජු හා කේවට්ට නම් පුරෝහිතයා හා කරන ලද මාරයාගේ යුද්ධය සේ අප්‍රමාණ වූ යුද්ධයෙහි තමන්ගේ නුවණ බලයෙන් ජයගෙන එක් දවසෙක ධර්මයුද්ධයෙන් ජයගනිමි යි තමන් කරා අවුත් සිටි කේවට්ට නම් බ්‍රාහ්මණයා මැණික් මායමකින් වඤ්චාකොට තමන් පාදමූලයට හිස නම්මා “ඔ හෝ නො වඳුව! ආචාරිණි” යි සෙනගට ඇසෙන සේ කිය කියා වැඳුම් වළකන ආකාරයෙන් [41]රත්මල්දමක් ගල්තලයක උළන්නා සේ ඔහු නළල බිම උළා ලේ මුහුණු කොට එ දවස් ඒ ධර්මයුද්ධයෙහි ජයගෙන ඒ සා මහත් සෙනගක් මිනියක් නො මරා, සතකු ඇගින් ලේ බින්දුවකුත් නො සොල්වා කැටක් ගසා ලුහුබඳවන කපුටු සෙනගක් සේ තමන්ගේ නුවණ නමැති කැට ගසා හැම ලුහුබඳවා ජයගෙන එක් සියයක් රාජධානියෙහි රජසෙන් හැරපියා ගිය අප්‍රමාණ වූ මහත් ධන රාශීන් ලදින් එ දවස් ද මේ අට වන පූජාව ලත්සේක.

තව ද: විවාහ මන්ත්‍රණයෙන් ජය ගනුම්හ යි කේවට්ටයා කළ චතුෂ්කණි නම් මන්ත්‍රණය, ෂට්කර්ණ මන්ත්‍රණය, කොට අසා ඒ මන්ත්‍රණයත් ජයගනිමි යි අටළොස් වර්ගයෙක කුලපිරිස් ගෙන මඟුලට පළමු බ්‍රහ්මදත්ත රජු කරා යෙමි යි මියුලු නුවරින් ගොස් සොපාන කර්මාන්තයෙන් ගිය දා ම රජු වඤ්චා කොට එමදා ම මන්ත්‍රණබෙලෙන් නවකෙළක් ධන උපදවා උපකාරී නම් නුවරක් කරවා තුන්සියයක් යෝධයන් ලවා රජදුව ගෙනෙන සුළු උමඟ ගව්වක් තැන් බිඳුවා සත්සියයක් යෝධයන් ලවා තම රජහු ගලවන මහ උමග දෙගව්වක් තැන් බිඳුවා, විසිතුරු වූ සිතියම් කරවා අටළොස් රියන් මහදොර අසූවක් හා සුළුදොර සූසැටක් හා, එක්සියයක් ශ්‍රීයහන් ගබඩා හා ඉර සඳ සදෙව්ලෝ ආදි වූ අප්‍රමාණ කර්මාන්ත කිසිවක්හටත් නොකියා නිමවා වේදේහ රජු ගෙන්වා, එ දා මගුල් පසාරයෙන් අටළොස් අක්‍ෂෞහිණි සෙනග ගෙන එක්සියයක් රජුන් සමග චූළනී බ්‍රහ්මදත්ත රජහු උපකාරි නුවර පිරිවරා අවුත් සිටගෙන “තෙලෙ වේදේහයා ලා ගොවියාපිත් මහෞෂධයා ගනු ව, මර ව. නො යා දෙව”යි යනාදීන් කර්කශ වූ බස් කිය කියා සිටගත් වේලෙහි ද මාගේ බෝධිසත්ත්‍වයෝ තුන් සියයක් යෝධයන් සුළු උමගින් යවා පඤ්චාලචණ්ඩි නම් රජදුව හා අගමෙහෙසින්වූ නන්දා දේවීන් හා පඤ්චාලචණ්ඩි නම් රජ කුමරුවා හා තලතාදේවීන් හා ඇතුළු වූ සතර දෙනා සොරා ගෙන්වාගෙන තමන්ගේ වේදේහ රජහට පඤ්චාලචණ්ඩීන් ඒ නකත ම පාවා දී රාහුමුඛයට හසු වූ සඳදෙව් පුතු ගැලවූවා සේ, බ්‍රහ්මදත්ත රජුට හසු ව ගියා වූ වේදේහරජු හා සමග ඇමැතියන් එම දා ම උමගින් මියුලු නුවර යවා පාන් වූ කල බ්‍රහ්මදත්ත රජු සිය කතාවෙන් සන්හිඳුවා උමංපානා මායමින් එක්සියයක් රජුන් හා සමගින් උමගින් හසුකොට එදා තමන්ගේ නුවණ බලපරාක්‍රම දක්වා, ඒ බ්‍රහ්මදත්ත රජු ද ප්‍රසන්නකරවා, ලක්‍ෂ වටනා ගම්වර අසූවක් හා කෙල්ලන් සාරසියයක් ඇතුළු වූ අප්‍රමාණ ධනයෙන් නව වන පූජාව ලත්සේක.

පසුව වේදේහ රජු ස්වර්‍ගස්ථ වූ කල එම බ්‍රහ්මදත්ත රජු කරා ගොස් දියරකුසු නම් පැනයෙහි දී ප්‍රසන්න වූ රජහු විසින් දෙන ලද දඹදිවට අග්‍ර වූ සෙනෙවිරත් ධුරයෙන් දසවන පූජාව ලත් සේක.

65 තව ද: බුදු වන්ට තුන් වන ජාති වූ මහා වෙස්සන්තර ජාතකයෙහි ජයතුරා නම් නුවර සඳ මහ රජුගේ [42]පුසතී නම් අග බිසොවුන් කුස පිළිසිඳ දසමස් පුරා වෛශ්‍යයන්ගේ වීථි අන්තරයෙහි දී පියුම් ගබින් බස්නා රන් බඹරකු සේ බිහි ව උපන් කෙණෙහි ම ඉඳුනිල්මිණි වන් ඇස් සුං දෙක දක්වා මෑණියන් මූණ බලා මෑණියනි! මා දන් දෙන වතක් දෙව” යි මියුරු බස් කියා රත‘තුල් සුං දිගු කොට මෑණියන් විසින් දෙනලද දහසින් බඳ පියලි ගෙන එකෙණෙහි ම කිරිමවුන්ට දන් දී, එ තැන් පටන් වෙස්සන්තර නම් වූ මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ සැටදහසක් ඇමැති දරුවන් පිරිවරා පෙරඩමස සඳ සේ වැඩී නව වාරයෙක නව ලක්‍ෂයක් අගනා පළඳනා ගලවා, කිරිමවුන්ට ම දන් දී, අට හැවිරිදි කල පලක් බැඳ වැඩහිඳ සරස වූ සිතින්:[43]

හදයං දදෙය්‍යං චක්ඛුම්පි - මංසම්පි රුධිරම්පි ච,

දදෙය්‍යං කායං සාවයිත්‍වාන - යදි කොචි යාචකො මම’ යි.

යනාදීන් “යමකු ඉල්වූ යම් වස්තුවක් දන් දෙම් ම ය” යි සිතූ වේලෙහි මෙරගල හා හිමාලය පර්වත නමැති මුදුන් මල්කඩින් සැරහී මහී නමැති කාන්තාව ගර්ජනා නමැති භෙරිනාද පවත්වා සතොසින් නටා කරන ලද මේ වෙස්සන්තර ජාතකයෙහි මහී ගර්ජනා නම් වූ පළමු වන පූජාව ලත් සේක.

තව ද සොළොස් හැවිරිදි වයස මද්‍රී නම් අගබිසෝ රුවන හා සමග රාජ්‍යශ්‍රී ලදින් ජාලිය-ක්‍රිෂ්ණජිනා නම් දරු දෙදෙනා ලැබ දශරාජ ධර්මයෙන් රාජ්‍යය කොට සදන්හල් කරවා දවස දවස සලක්‍ෂයක් ධනයෙන් දන් දී වසන කල කලිඟුරටින් හා බමුණන් අටදෙනා ඇතු ඉල්ලූ කල අනර්ඝ වස්තු සතරක් හා සූවිසි ලක්‍ෂයක් රන් සැදුම් ලදින් රිදී පර්වතයක් සේ දිලියෙන පාණ්ඩව නම් හස්ති රාජයා ඒ බමුණන් අත පැන් එව දන් දී එකෙණෙහි ද මහ පොළොව ගුගුරුවා මහී කාන්තාව විසින් කරන ලද මහීගර්ජනා නම් වූ දෙවන පූජාව ලත් සේක.

තව ද: ඇතු දුන්හ යි කිපී නුවරුන් නුවරින් නෙරනා සමයෙහි සපසට වලට යෙමි යි සත්තසතක නම් වූ මහා දානය දී එ කෙණෙහි ද පොළොව ගුගුරුවා මහීගර්ජනා නම් තුන් වන පූජාව ලත් සේක.

තව ද: මද්‍රීදේවීන් හා දරුදෙදෙනා හා සමග එක මග නික්ම අටළොස් ගැලක් ධන මගදී ම යාචකයන්ට දන් දී රථයානීන් නුවරින් පිටත් ව නැවත රජගෙය දිසාව බලා:

ඉඞ්ඝ මද්දි නිසාමෙථ - රම්මරූපංච දිස්සති

පාසාදො සිවිසෙට්ඨස්ස - පෙත්තිකං භවනං මම - යි.

යන මේ ගය කියා මද්‍රීදේවීන් හා කථා කරන වේලෙහි ස්වාමි දරුවකුගේ ආපදායෙක මුරගා අඬන මිද්ධියක සේ මහ හඬින් ගුගුරා මීකත කරන ලද මහීගර්ජනා නම් මේ සතර වන පූජාව ලත් සේක.

තව ද: මෙසේ නුවරින් නික්ම පස්සෙහි දිවූ බමුණන් සතර දෙනාට මඟුලසුන් සතරදෙනා දන් දී පසු ව ආ බමුණා දැක මඟුල්රථය දන් දී දෙ දරුවන්ගේ දුක් දැක ඇකයෙන් වඩාගෙන ඔවුනොවුන් හා සමග ප්‍රිය කථාවෙන් සන්හිඳී යන මද්‍රී දේවීන් හා වෙස්සන්තර නම් ඒ බෝසතාණෝ ජයතුරා නුවර පටන් විසි ගව්වක් ගොස් ස්වර්ණගිරිතළ නම් පර්වතයට නැගී එතැන් පටන් විසි ගව්වක් ගොස් කොන්තිමාරා නම් ගඞ්ගාවෙන් එතෙ‍රෙව තව ද විසි ගව්වක් ගොස් ආරඤ්ජගිරි නම් පර්වතයට පැමිණ තවද විසි ගව්වක් ගොස් දුනුමිටි නම් බමුණු ගමට වැද, එයින් සතළිස් ගව්වක් ගෙවා සෑ රට ගොස් මෙසේ දෙවියන්ගේ ආනුභාවයෙන් එක්සිය විසි ගවු මග ගෙවා එම දා සවස ලැග්මට මාතුල නම් නුවරට වැද, එහි රජුන් කළ රාජ්‍යපූජාව නො ඉවසා එදා රාත්‍රිය එහි යවා,

දෙවන දා, එ නුවර සැට දහසක් සෑ රජුන් පිරිවරා සැට ගව්වක් තැන් ගොස් වන දොරකඩ දැක වල් දුටු සතුටින් රජපිරිස් අවසර දී එව, අඹුදරුවන් හා සමග මහ වනයට නැගී ගියදා රාත්‍රියෙහි ගන්‍ධමාන නම් පර්වතකූටයෙහි ලැග හිරු උදයෙහි නික්ම උතුරු දිග බලා ගොස් විපුල නම් පර්වතයට වැද එහි ඉසාන කොණින් ගොස් කෙතුමතී නම් ගඟට බැස නහා පැන් බී අඹුදරුවන්ගේ ගමන් විඩා නිවා වල්වැද්දකු දුන් වී හා මුවමස් මේ නිමවා ඕහට මුහුළ දුන් රන්ඉද්ද ප්‍රසාදයට දී, එයින් ගොස් ස්වානු පර්වතය මුදුනෙහි පිහිටි නුගගස ඵල හා මධුර වූ රස ඇති නුග පරඬලා අනුභව කොට තුරුමුල සැතපී, එයින් ගොස් නාලික නම් පර්වතයට වැද, තව ද උත්තරාපථයෙන් ම ගොස් මිදෙල්ල නම් විලක් දැක එයින් ගොස් සිවුරැස් පොකුණට වැඩ එ තෙනට ඉසාන කණ, එක් පියවර සටහන් මගින් ගොස් ශක්‍රයා මවා තුබූ පන්සැල් හා තවුස් පිරිකර දැක “ශක්‍රයා මා ආ බව් දත් වනැ”යි සන්තොෂ උපදවා විශේෂ වූ තවුස්වෙස් ගෙන අඹුදරුවන් ද තවුස්වෙස් ගන්වා වන මුල් වන ඵලාහාරයෙන් ජීවත් ව සපුත්තදාරක නම් වූ පළමුවන තපසින් ඒ වංකගිරි පර්වතයෙහි සත්මසක් වාසය කොට මෛත්‍රී බෙලෙන් ඒ වෙනෙහි සියලු සතුන්ට ද ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රී කරවා දවස් යවන සේක.

එ කල කලිගු රට දුනුමිටි නම් බමුණුගම පූජාක නම් බමුණෙක් අමිත්තතාපනා නම් බැමිණියන්ගේ නියෝගයෙන් දරු දන් ඉල්වා යනුයේ වනදොරකඩ රකවල සෑ රජුන් විසින් සිටුවන ලද වැදිපුත්‍රයාගේ බල්ලන් දැක ගසකට නැගී වැද්දවූ අවුත් භය ගන්වා “දැන් දැන් තා වීද හෙළමි, කොයි සෙයි ද? බමුණැ”යි කී කල “වෙස්සන්තර රජ්ජුරුවන් කරා සඳමහ රජ්ජුරුවන්ගෙන් දූත මෙහෙවර යෙමි”යි බොරු කියා ගැළවී ඒ වැද්දා කී සලකුණෙන් ගොස් සුළුවනය ගෙවා අච්චුත නම් තාපසයන්ගේ පන්සැලට වැද “වෙස්සන්තරයන්ට බාල කල ශිල්ප දිනිමි, උන් බලන්ට යෙමි”යි බොරු කීමෙන් අච්චුත තාපසයන් පහදවා ගෙන එදා රෑ ඒ පන්සැල ලැග දෙවන දා උදාසන “හිමි! මට මඟ කියව”යි කී කල තාපසයෝ දකුණත ඔසවා කියන්නාහු “බමුණ! තෙල පෙනෙන්නේ ගඳමහන් පව්ව ය; තා එගල් පාවිටින් ගිය කල දැව ය, අසු ය, බුබුළු ය, මුරුත ය, කිහිරි ය, සල කොහොඹ ය, වල් දමුණු ය, මාලුවා ලිය ය, අඹ ය, ගිවුළු ය, කොසය, දඹ ය. බුළු ය, අරළු ය, ඇඹුලු ය, ඇසතු ය, රන්වන් තිඹිරි ය, නුග ය, හෙළ කිඳි ඇසතු ය, මීගස ය, දිඹුල ය, වල්පලු ය, කිරිපලු ය, හෙල ගෙඳ ය, මිදි ය, ඉඳි ය, තල ය, පොලය යනාදී මේ කී රුක්හු පලිස් ගෙන සිටිනාහ. එයින් මිහිරි වූ පකාපැකින් කකා ඒ වෙසතුරු රජහු ම තකා තා ගිය කල. තව ද සුළු කෙලිඳ ය, මහ කෙලිඳ ය, උපුල් කොළ ය, තුවරලා ය, පළලු ය, කීණ දොඹ ය, මහ දොඹ ය. කොබ ලීල ය. එරහැන්ද ය, හෝම ගස ය, කොහොම් ගස ය, කළුවැල ය, බදුළු ය, අවරි ගස ය, ලක්වැලි ය, සුළු කුඹුක ය, මහි කුඹුක ය, පියා ගස ය, සලල ය, බක්මී ය, කොහොඹ ය, දෙල්දැව ය යනාදී මෙ කී රුක්හු මල් පිපී බඹරුන් විසින් ගැවසීගෙන සිටිනාහ.

එයින් සුවඳ මල් බිඳ බිඳ සිහිල් සෙවන සැතපි සැතපී, මිහිරි දිය කඳුරුවලින් පැන් බි බී, බමුණ! තා ගිය කල සිවුරැස් පොකුණ දක්නෙහි ය. ඒ පොකුණෙහි දෑවාන සේ සුදු වූ කැලබැඳ ඇවිදුනා මස්කැලන් විසින් ගැවසී ගත්තේ ය. මහවිල කටු ය; කුදුහැල, හූරු හැල, බිම් වගළහැල යන තුන් ජාතියෙහි හැල් ය. උපුල, හෙළ පියුම, හෙළඹුල, හෙල්මැලි ය, බිල ය. දියකූර ය යනාදි දියෙහි නැංගමනා ගසිනුත් ගැවසී ගත්තේ ය. තව ද: බමුණ! ඒ විල දිය කෙළවර නානා රුක්හු මල්පිපී බඹරුන් විසින් ගැවසීගෙන සිටිනාහ. ඔහු කිනම්හ යත්: කොලොම්, පබලු, කොබලීල. අඟුණු, වැල් කිණිහිරි, කලුසු, ඇසතු, කරඳ, එරබදු, නා, ඇට්ටර, මහරි, හෙළ කොබලීල, පියුම්ගස්, මහනමුඩ, සිහින් නමුඬ, රත්නික, හෙළනික, මහනික, සුළුනික, කළුනික, පියාගස. පඟුරු, මුහුලු, සල්මල්, මුරුගා, දුනුකේ, වැටකේ, කරාකේ, කිණිහිරි, කනේරු, කුඹුක්, පතුක්, කසකෑල, ඇත්දෙමට, රුක්අත්තන, කදුරු, ඩහඹු, දුනුවලා, තිටිග, හිරමසු, වරණ, අසු සිවල්, හීන්සලු, හෙළවසු, වැසි කලු වරණ යනාදි මෙ කී රුක්හු මල් පිපී බමරුන් විසින් ගැවසී ගෙන පිදූ මලසුන් මෙන් පෙනෙති. තව ද: බමුණ ඒ විලට නුදුරු තෙන දියෙහි ගොඩෙහි පිපෙන්නා වූ කිසියම් මල් ජාතියකින් ගැවසී ගත් මිදෙල්ල නම් විලෙකුදු ඇත. එ විල්හි දිය කෙළ වර ද බොහෝ ව හටගත්තා වූ දමුණු ය, සිහින්මුඟ ය, සිහින් මෑ ය, කටු සෙවෙල ය, ගෝසී සඳුන ය, හිඟුරු ය, රත්කරවු ය, සුළු අන්ගෙන්ද ය, මහ අන්ගෙන්ද ය, හුරු කළන්ද ය, තල් කළන්ද ය, දුනුකේ ය, වැටකේ ය, ගිරිකොළවල ය, ඉන්‍දීවර ය, නිල්මල දිය මෙරලිය ය, මුඬුමුරු කැප්පෙටි ය, කවේරු ය, කළුතලා ය, හෝ තලා ය. සුවඳ තලා ය, තුන් ජාතියෙහි කැකිරි ය. සැළුෑනු ය, තල් උස ඉඳි ය, මිටි තෙන සිට මිටපුරා තා බිඳ කෑ හැකි එරහැන්ද ය, ගැවසි සම ව සිටි සිරි වැඩි ය: කෑලි ය, මීගෙන්ද ය. හෝපලු ය, නිවිති ය, ලබු ය, කොමඩු ය, හිඟිණි ය, දෙ කටු කරඬු ය, තිත්මල නාලිය ය, බුලත් වැල ය, හිරමුසු ය, කීරිවැල ය; වාගස ය, වෑකොඳ ය, සීනිද්ද ය, බෝලිද්ද ය, දෑසමන් ය, ගස්සමන් ය, යොහොඹු ය, වංබටු ය, ගඳහැඹුල ය, රත්සඳුන ය, විල්පලා ය, යනාදි මෙකී රුක්හු ද මල්පිපී බඹරුන් විසින් ගැවසී ගෙන සිටිනාහ.

තව ද: බමුණ! එදෙවිල් තෙර ඉසාන කණ එක් පියවර සටහන් මගින් තා ගිය කල මල් සුවඳ ය, රොන් සුවඳ ය, ඵල සුවඳ ය, කොළ සුවඳ ය, කඳ සුවඳ ය, මද සුවඳ ය, ගැට සුවඳ ය, මැලි සුවඳ ය. පොතු සුවඳ ය, මුල් සුවඳ ය යි යන දශවිධ වූ සුවඳින් ගැවසී ගත් නීමැසි මී, වැල්මී, තලිස් පතුරු, පුවඟු, කලු නිරිය, වංමුතු ය, ඕපලු ය, ලොත්සුඹුළු ය, සුවඳගඳ ඇති රන්වන් සඳුන, තුවරලා, ටුංගහොල්, කටුපියුම්ගස්, නාරිගෙන්ද, උපුල්, කළුවැල්, දැහැලිය ගඳ, රැහැණිය ගඳ, දෙකසා, රත්සිරියෙල්. හිරිවේරි ය, ගුගුල්, ලම්ඟ, සොරමඩුලු, කපුරු, කිරිපලු යනාදි මෙ කී සුවඳ රුක්හු බෙහෙව.

තව ද: බමුණ! ඒ වෙනෙහි සිවුපා සතුන් හා ලිහිණියෝ බෙහෙව; ඔහු කිනම්හ යත්:- සිංහයෝ ය, ව්‍යාඝ්‍රයෝ ය, වෙළඹුමුව පක්‍ෂි ය, ඇත්තු ය, එළුමුවෝ ය, පසද මුවෝ ය, රොහිත මුවෝ ය, සරබ මුවෝ ය, විසිතුරු මුවෝ ය, කෙහෙල් මුවෝ ය, දිවන මුවෝ ය, පනන මුවෝ ය, කැනහි මුවෝ ය, කොක්නහ මුවෝ ය, ගිජු ඈයෝ ය, පියාබළල්ලු ය. රුක්නහවුවෝ ය, සෙමරු ය, මහදළ ගිරාතුඩුවෝ ය, වඳුරෝ ය. මහාකාළ වඳුරෝ ය. ගෝණෝ ය, අඟබෙරලියෝ ය, වලස්සු ය, දඩගෝණු ය, කගවෙසණුවෝ ය, හූරෝ ය, මුගටියෝ ය. ලෙහෙනෝ ය, කළවැද්දෝ ය. මල්මීවු ය, බල්ලෝ ය, සුළු හුන පුපුළුවෝ ය. මහ හුන පුපුළුවෝ ය, ගොයි ය, මහ ගජකුඹුවෝ ය, කකරංග යන ලිහිණියෝ ය, දිවියෝ ය, සහවු ය, සුළු සිලිඹිල්ලෝ ය, මහ සිලිඹිල්ලෝ ය, බාසුරුසිංහයෝ ය, අටපාකෙවිල්ලෝ ය, රන්වන් මොනරු ය, හෙළපා අස්සු ය, සුවර ලිහිණියෝ ය, වලිකුකුළෝ ය, කණකොක්කු ය, හෙළ කොක්කු ය, බකුස්සෝ ය, කිරළු ය, කොස්වාලිහිණියෝ ය, දියකාවෝ ය, දිය වවුලෝ ය, රත්කොරළුවෝ ය, ජීවං ජීවකයෝ ය, අඟහැළි ලිහිණියෝ ය, පුරවි කෙවිල්ලෝ ය, ගුරුළු ය, බක මුහුණෝ ය, ඇටි කුකුළෝ ය, කළු ලිහිණියෝ ය, කුකුළු ලිහිණියෝ ය, ගෝ ලිහිණියෝ ය, මහ වෙල්ලු ය, කෙවිල්ලෝ ය, කළු උකුස්සෝ ය, කබරුස්සෝ ය, පියවිං හංසයෝ ය, ජවන හංසයෝ ය, දාතුඩුවෝ ය, පරවියෝ ය, හැල්බොයියෝ ය, සක්වා ලිහිණියෝ ය යනාදි මෙකී සතුන් සතුටු ව බල බලා, බමුණ තා ගිය කල්හි සක්දෙවුරජහු විසින් මවා දෙන ලද දෙව්ලොවින් බට භාගයක් සේ රම්‍ය වූ වෙස්සන්තර රජ්ජුරුවන් වසන ලද ඒ අසපුවෙහි ශ්‍රී දක්නෙහිය’යි මෙසේ අච්චුතතාපසයන් කියන ලද්දා වූ මාර්ගසංඥාවෙන් මග නො වරදවා ගොස් මද්‍රි දේවීන් වනමුල් වනපලාඵල සොයා වලට ගිය කල්හි මග බලා වැඩහුන් බෝසතුන් දැක පෙරට ව සිට:

යථාචාරී වහා පූරෝ - සබ්බකාලං න ඛීයති,

එවං තං යාචිකාගඤ්ඡං - පුත්තෙ මෙ දෙහි යාචිතො-යි

යනාදීන් ස්තුති කොට ඒ ජූජක නම් බමුණා දරුවන් ඉල්ලූ වේලෙහි මසුරු සිතක් නො සිතා ප්‍රිය දරුවන් දෙදෙනා ළඟට කැඳවා ජාලිය කුමාරයන් දකුණත හා ක්‍රිෂ්ණජිනාවන් වමත හා අතින් අල්වා ගෙන කමඬලායෙන් බමුණා අත පැන් වත්කොට ප්‍රිය වූ බුදුබව පතා දිළිඳු වූ ඒ බමුණාට දරුවන් දන් දුන් වේලෙහි ඒ ආශ්චර්යය දැක දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළොව ගුගුරුවා මහී කාන්තාව කළ මහී ගර්ජනා නම් වූ පූජාව හා මහමෙර හා සත්කුලපව්වන් නළුවන් සේ නටා නටා කළා වූ නෘත්‍ය පූජා හා, සදෙව්ලෝ දෙවියන් කළා වූ සාධුකාර පූජා හා, මහාබ්‍රහ්මයන් විසින් කරන ලද අත්පොළසන් පූජා හා මෙසේ පස්වන වාරයෙහි අනන්ත වූ පූජා ලත් සේක.

තව ද ඒ බමුණා දරුවන් දන් ගෙන ගිය දෙවන දා උදෑසන ශක්‍රයා බමුණු වෙසක් මවාගෙන අවුත් සිට “භවත! නිවහල්ලෙමි; හැල් කා විඩාව ගියෙමි. තෙපි බුදුසිරි කත පතා නම්, මේ මද්‍රි දේවීන් දැන් මට දන් දෙව”යි ස්තුති කොට ඉල්ලූ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ “ඉය්යේ දරු දෙදෙනා දන් දුන්නෙම් වේ ද, අද මද්‍රි දේවි ය දිනිම් නම් මම එකලා ව මේ වෙනෙහි අසරණයෙමි”යි නො සිතා දනෙහි පසුබැස්මක් නැති ව ඒ බමුණා සන්තෝෂයෙන් මූණ බලා මද්‍රිදේවීන් අත අල්වා ඒ බමුණා අත තබාපු වේලෙහි මහීකාන්තාව හා ශක්‍රාදි දෙවියන් විසින් කරන ලද මහීගර්ජනාදි සවන වාරයෙහි පූජා ලත් සේක.

තව ද බමුණා ගනෙ ගිය දරුවන් දැක ගළවා දොළොස් අක්‍ෂෞහිණී මහ සෙනග ගෙන මුණුබුරන් හා සමග වඞ්කගිරි පර්වතයෙහි බෝසතුන්ගේ පන්සැලට පියරජහු ගිය කල ඔවුනොවුන් දුටු සතුටින් සඳමහ රජ්ජුරුවෝ ය, පූසැ‘ති නම් බිසොවු ය, මද්‍රීදේවි ය, වෙස්සන්තර රජ්ජුරුවෝ ය, ජාලිය කුමාරයෝ ය, ක්‍රිෂ්ණජිනාවෝ ය යි යන මේ රජ සදෙනා ඔවුනොවුන් පිට මහත් වූ ශෝකයෙන් හඬා හී මුසපත් වූ වේලෙහි මුළු පොළොව ගුගුරුවා මීකත කරන ලද සත්වනු වූ මහීගර්ජනා නම්වූ පූජාව ලත් සේක.

තව ද එම වේලෙහි සක්දෙව්රජහු විසින් කරන ලද අටවන වූ පුෂ්කර වර්ෂා නම් වූ පූජාව ලත් සේක.

තව ද පිය රජහුගේ ආරාධනාවෙන් එම දා ඉසිවෙස් හැර රජවෙස් ගෙන සත් දවසක් වනකෙලි කෙළ මහ පෙරහරින් සිය නුවරට වැඩ රජගෙට වන් දා දෙවියන් විසින් වස්වනලද නවවනු වූ සත්රුවන් වර්ෂාවකින් පූජා ලත්සේක.

මෙසේ මාගේ බුදුහු දහස්ගණන් ජාතිභේදවල ඇවිද පාරමිතා බෙලෙන් නොඑක් පූජා ලදින් මේ එක ම වෙස්සන්තර ජාතියෙහි මහීගර්ජනා නම් වූ පූජා සතෙක, පුෂ්කර වර්ෂා නම් වූ පූජාවෙක, රුවන් වර්ෂා නම් වූ පූජාවෙකැයි නව මහා පූජාවක් ලත් හෙයිනුත් මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජා විසේසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලෝකනාථො,

අත්‍ථානුරූපං “අරහං”ති ලෝකෙ

තස්මා ජිනෝ අරහති නාමමෙතං - යි.

මේ පූජාවලියෙහි අප බුදුන් සංසාරගත ව ලද

ද්විතීය ජාතිභේද පූජා කථා නම් වූ සවන පරිච්ඡේදය නිමි.

7. මහා විලෝකනාවසානයෙහි දී ලද සාධුනාද පූජා

තව ද: අප බුදුන් පඤ්ච මහා විලෝකනාවසානයෙහි දී ලද සාධුනාද පූජා නම් කවර? යත්;

මෙසේ මාගේ ස්වාමිදරු වූ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ ධන පරිත්‍යාගය, පුත්‍ර පරිත්‍යාගය, භාර්‍ය්‍යා පරිත්‍යාග ය. අඞ්ග පරිත්‍යාග ය, ජීවිත පරිත්‍යාග ය යන පඤ්ච මහා පරිත්‍යාගයෙහි කෝටිප්‍රාප්ත වූ ලෝකාර්‍ථචර්‍ය්‍යා ය, ඥාත්‍යර්ථ චර්‍ය්‍යා ය, බුද්ධි චර්‍ය්‍යා ය යන ත්‍රිවිධ වූ චර්‍ය්‍යායෙහි කෙළ පැමිණ, දාන ය, ශීල ය, නෛෂ්ක්‍රම්‍ය ය, ප්‍රඥා ය, වීර්‍ය්‍ය ය, ක්‍ෂාන්ති ය, සත්‍ය ය, අධිෂ්ඨාන ය, මෛත්‍රී ය, උපේක්‍ෂා ය යන දශවිධ වූ පාරමිතාවන් හා දශවිධ වූ උප පාරමිතාවන් හා දශවිධ වූ පරමාර්ථ පාරමිතාවන් හා යන මේ සමත්‍රිංශත් පාරමිතා නමැති සාගරයෙන් ගොඩනැගී විශ්වන්තරාත්ම භාවයෙන් චුත ව සියලු බුදුන්ට දෙවන ආත්මභාවයෙහි විසිපුර වූ තුසීපුරයට නැඟී, තුන්ගවු අස දිව්‍යශරීර ඇති ව, ගවු උස මිණි වොටුනු ඇති ව, සැට ගැලක් පිරූ දිව්‍යාභරණයන් ධරා, යෙළ යාළක් සුවඳ විලෙවුන් ගෙන, අහස් ගඟ සේ මුතුහරක් ධරා, අප්‍රමාණ වූ දිව්‍යශෝභාවෙන් ශෝභාවත් ව, කෙළගණන් දිව්‍යස්ත්‍රීන් පිරිවරා, මුළු ලොවට නැගූ ජය කේතුවක් සේ, තුන්ලෝ නමැති වොටුන්නෙහි සිළුමිණිරුවනක් සේ, තුන්ලෝ තිලකයක් සේ, නේ සුවහස් දිව්‍යරාජයන්ගේ කිරුළු කුළු මිණි රසින් තමන්ගේ ශ්‍රීපාදයන් බබුළුවා, සද්ධර්මදේශනාවෙන් දිව්‍යබ්‍රහ්මයන් ප්‍රීතිකරවා, සත් පනස් කෙළ සැට ලක්‍ෂයක් හවුරුදු ආයුඃ ශ්‍රී වළඳා සන්තුෂිත නම් දිව්‍යරාජ ව ඒ තුසී පුරයෙහි වැඩ වසන සේක.

පස්මහා කෝලාහල

ලෝකයෙහි: කල්ප කොලාහල ය, චක්‍රවර්ති කොලාහල ය. බුද්ධ කොලාහල ය, මඞ්ගල කොලාහල ය, මොනෙය්‍ය කොලාහල ය යි පස් කොලාහලයෙක් ඇත. හේ කෙසේ ද? යත්;

කල්ප කොලාහල නම් කවර? යත්;

ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ කල්ප විනාශයට පූර්වභාගයෙහි ලක්‍ෂයක් හවුරුදු තිබිය දී ලොවට ඉෂ්ට වූ කාමාවචර දේවතා කෙනෙක් රතක් හැඳ රතක් එකාංශ කොට ලා එක් කණෙක පත් තබා, ඉසකේ විදා පිට හෙළා, කඳුළු වැගිරෙන ඇස් ඇති ව මෙසේ අවමගුල් වූ වෙසක් ගෙන කෙළ ලක්‍ෂයක් සක්වළ ඇවිද “පින්වත් වූ සත්ත්‍වයෙනි! හවුරුදු ලක්‍ෂයක් ගිය කල කප නස්සී, කෙළ ලක්‍ෂයක් සක්වළගල් නස්සී, කෙළ ලක්‍ෂයක් මහ පොළෝ නස්සී, කෙළලක්‍ෂයක් මෙරගල් නස්සී, කෙළලක්‍ෂයක් හිමවු කුළු නස්සී, සත් කෙළ ලක්‍ෂයක් කුලපව්වෝ නස්සී, ස කෙළ ලක්‍ෂයක් දෙව්ලෝ නස්සී, දෙ කෙළ ලක්‍ෂයක් හිර සඳ නස්සී, සමහර බඹලෝ පවා නස්සී. ඒ කල්පාන්ත විනාශයෙන් ගැලවෙනු කැමැතියා නම් මවුන්ට මෙහෙ කරව, පියන්ට කීකරු වව; කුලදෙටුවන් පුදව. පස් පව් නො කරව. පන්සිල් රකු ව” යනාදීන් ඔවා තෙපුලෙන් අනුශාසනා කොට ඇවිදිති.

එ කල කෙල ලක්‍ෂයක් සක්වළ වසන හැම සත්ත්‍වයෝ ම ලක්‍ෂයක් හවුරුද්දෙන් කප නසී ල යි භීතිමත් ව “අහො දුක්ඛං, අහො දුක්ඛං” යනාදීන් මහත් වූ කොලාහල කෙරෙති. මේ කොලාහලය කෙළ ලක්‍ෂයක් සක්වළ මුළුල්ලෙහි බඹලොව ගසා පැතිර සිටී. මේ කල්ප කොලාහල නම.

චක්‍රවර්ති කොලාහල නම් කවර? යත්;

චක්‍රවර්ති රජකු උපදනාට පූර්වභාගයෙහි හවුරුදු සියයක් තිබියදී කාමාවචර දේවතා කෙනෙක් රන්වන් වූ සළුවක් හැඳ, රන්වන් වූ සළුවක් එකාංශ කොට ලා, රන්වන් වූ සුවඳ විලෙවුන් ගෙන රන්වන් පලඳනා හා මිණි වොටුනු ධරා මෙසේ රජමගුල් වෙසක් ගෙන චක්‍රවර්තීන් උපදනා මේ මගුල් සක්වළ ම සතර මහාද්වීපය වටා ඇවිද “පින්වත් වූ ජනයෙනි, සියක් අවුරුදු ගිය කල සක්විති රජෙක් මේ සක්වළ උපද්දී; ඔහු උපන් කල රා පිය නො හැක්ක; බොරු කිය නො හැක්ක; සොරකම් කළ නො හැක්ක; සතුන් මැරිය නො හැක්ක; පරදාරයෙහි අනාචාර කළ නොහැක්ක; යමෙක් තමා රහසත් මේ පස් පවින් පවක් කෙළේ නම් ඔවුන් ඉස් පැලී යෙයි; මතු තොප පස් පව් නො කිරීමට දැන් පටන් අභ්‍යාස කරව, පන්සිල් රකුව” යනාදීන් ඔවා තෙපුල් කිය කියා මුළු සක්වළ වටා ඇවිදිති.

එ කල මේ මුළු සක්වළ වැසියෝ “සියක් හවුරුදු ගිය කල සක්විති රජෙක් උපදී ල; සක් රුවනෙක් නැගේ ල, චින්තාමාණික්‍ය රත්නය ද ආකාශයෙන් ඒ රජහුගේ දොරට තෙමේ ම ඒ ල; උපෝසථ කුලයෙන් ආකාශචාරී වූ මඞ්ගල හස්තිරාජයෙක් ඒ ල; වලාහක කුලයෙන් අස් රුවනකුත් ඒ ල; උතුරුකුරු දිවයිනින් අගබිසෝරුවනක් දෙවියෝ ගෙන දෙත් ල; දහසක් පුතුන් හා සමග ඒ රජ පුත්රුවනකුත් ලැබේ ල; ඒ පුත්‍රයා සතිස් යොදනෙක ගැවසී සිටි රජහුගේ මහා සේනාවෙහි හැමදෙනා රුචි රුචි වූ ඛාද්‍ය භෝජ්‍යාදි හැමදෙනා කැමති කැමැති වස්ත්‍ර හා ආභරණයන් දී මහ පිරිස සන්තෝෂ වඩාල; යොදනක් තැන නිධාන දක්නා දිවස් ඇති සිටු රුවනෙකුත් උපදී ල; ඒ සක්විති රජ හිරු සඳ සේ වූ ගමන් ඇත්තේ ල; සතර මහා සෘද්ධි ආදි වූ මහ පින් ඇත්තේ ල” යි මේ මුළු සක්වළ වැසියෝ සාධුකාර නාද පවත්වා මහත් වූ කෝලාහල කෙරෙති. මේ චක්‍රවර්ති කොලාහල නම.

බුද්ධ කොලාහල නම් කවර? යත්;

බුදු කෙනකුන් උපදනාට දහසක් හවුරුදු තිබියදී ශුද්ධාවාස වූ දේවතා කෙනෙක් සුදු පිළිසක් හැඳ සුදු පිළියක් එකාංශ කොට ලා සුදුමල් පැලඳ සුදු විලෙවුන් ගෙන ශුභ මඟුල් වෙසක් ගෙන “පින්වත් වූ සත්ත්‍වයෙනි! මෙ තැන් පටන් දහසක් හවුරුදු ගිය කල ලොවුතුරා බුදුකෙනෙක් ලොව ඉපැද දහම්වැසි වස්වා සසර ගිම් නිවා නිවන් පුරයෙහි දොර හරිති. ඒ බුදුන්ගේ බුදුරූ හා බුදු සිරි දක්නා සත්පුරුෂ කෙනෙක් පඤ්චානන්තර්ය කර්‍මයන් නො කරව; මවුපියන්ට ආක්‍රොශ පරිභව නො කරව; නියත මිථ්‍යා දෘෂ්ටි නො ගනුව; පඤ්චශීලය රක්‍ෂා කරව; අට මහ නරකයෙහි උපදනා පව් නො කරව; අරූතල අසංඥ තලයෙහි උපදනා ව්‍රතයන් නො ගනුව; මෙ කී තැන උපන්නාහු බුදුන් නො දකිති. පන්සිල් පුරව; අටසිල් පුරව; දසපින්කිරිය වත් පුරව; ත්‍රිවිධ වූ සුචරිත ධර්‍මයන් පුරව; ඒ බුදුන් දක්නා සේ පනව”යි යනාදීන් කණ මී ඕනා සේ ප්‍රිය වූ තෙපුල් කිය කියා දස දහසක් සක්වළ වටා ඇවිදිති.

එ කල දසදහසක් සක්වළ මනුෂ්‍යයෝ ද, දෙවියෝ ද, බඹහු ද, මේ තෙපුල් අසා “දහසක් හවුරුද්දෙන් බුද්ධදිවාකරයෙක් නැගේ ල; ලොව මොහාන්‍ධකාර දුරු වේ ල; බොහෝ කලක් එළි ව තුබූ අපාය මාර්ගයෙහි [44]අකුල් හේ ල; බුද්ධාන්තර කාලයක් මුළුල්ලෙහි වල් ව පියා තුබූ නිවන් මාර්ගය එකහෙළි වේ ල” යි කිය කියා සන්තෝෂ වූවාහු අත්පොළසන් දී, ඔල්වරසන් දී, අසුරුසන් දී සාධුනාද පවත්වා ඒ මාගේ ස්වාමිදරුවාණන් දහසක් හවුරුද්දෙන් උපදිති යි යන බස් අසා දස දහසක් සක්වළ පාතාලය පටන් බ්‍රහ්මාණ්ඩය ගසා එකඝෝෂ කොට බුද්ධකොලාහල නම් වූ මහා පූජාවක් කෙරෙති. එසේ හෙයින් අර්හත් නම් වන සේක. මේ බුද්ධ කොලාහල නමි.

මඞ්ගල කොලාහල නම් කවර? යත්;

බුදුන් මඞ්ගල සූත්‍රය දේශනා කරන්නාට පූර්ව භාගයෙහි දොළොස් හවුරුද්දක් තිබියදී එසේ ම කාමාවචර දෙවි කෙනෙක් ශුභ මගුල් වෙසක් ගෙන මනුෂ්‍යපථයෙහි ඇවිද “පින්වත්නි! මෙයින් දොළොස් හවුරුද්දක් ගිය කල බුදුන් මගුල් වදාරති, එකල අසඞ්ඛ්‍යයක් ප්‍රාණීහු අමාමහ නිවන් දකිති; තෙපි තෙපි ද මගුල් අසා නිවන් දැක සසරින් ගැළවෙව”යි ප්‍රිය තෙපුල් කියති. එ කල සත්‍වයෝ “දොළොස් හවුරුද්දක් ගිය කල මගුල් අසා සසරින් ගැළවෙම්හ”යි සාධුනාදයෙන් කොලාහල කෙරෙති. මේ මඞ්ගල කොලාහල නමි.

මොනෙය්‍ය කොලාහල නම් කවර? යත්;

එසේ ම කාමාවචර දෙවි කෙනෙක් මනුෂ්‍යපථයෙහි ඇවිද “පින්වත්නි! මෙයින් සත් හවුරුද්දක් ගිය කල එක්තරා එක් මහණ කෙනෙක් බුදුන් කරා එක තැනට පැමිණ මොනෙය්‍ය පිළිවෙත් නම් වූ බුද්ධකාරක ධර්මයන් විචාරති. එ කල බුදුහු මොනෙය්‍ය පිළිවෙතින් ධර්මදේශනා කොට අසඞ්ඛ්‍යයක් ප්‍රාණීන් සසරින් ගළවති. තෙපි තෙපි ද එදා සසරින් ගැළවෙව”යි ඔවා තෙපුල් කියති. එකල සත්‍වයෝ සාධුනාදයෙන් කොලාහල කෙරෙති. මේ මොනෙය්‍ය කොලාහල නමි.

මේ පස් කොලාහලයන් අතුරෙන් බුද්ධ කොලාහලය පහළ වූ කල දස දහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මයෝ “බුදුවන්නා වූ වීරපුරුෂයාණෝ කවරෙක් දෝ හෝ”යි සොයන්නාහු පාරමිතා සාගරයෙන් [45]නැගී තුසී පුරෙහි ආයුඃශ්‍රී වළඳා සද්ධර්මශ්‍රීන් වැස පංච මහා පූර්ව නිමිත්තයන් පහළ වූ ලෝකමාතාවන් ඒ මාගේ බෝධිසත්ත්‍වයන් දැක දස දහසක් සක්වළ දස දහසක් ශක්‍රයෝ ය, දස දහසක් සුයාමයෝ ය, දස දහසක් සන්තුෂිත දිව්‍යයෝ ය, දස දහසක් සුනිර්මිත නම් දිව්‍යරාජයෝ ය, දස දහසක් පරනිර්මිත නම් දිව්‍යරාජයෝ ය, දස දහසක් සහම්පති මහා බ්‍රහ්මයෝ ය, සෙසු හැම බ්‍රහ්මරාජයෝ ය යි යනාදි මෙ කී දිව්‍යරාජයෝ තමන් තමන්ගේ දිව්‍ය පර්ෂද් හා සමග මේ මගුල් සක්වළ තුසී පුරයෙහි රැස්ව මාගේ ස්වාමිදරු වූ සන්තුෂිත නම් වූ බුද්ධාංකුරයාණන් වටා දොහොත් මුදුන් දී සිට;

ක ලොයං තෙ මහාවීර උප්පජ්ජ මාතුකුච්ඡියං

සදෙවකං තාරයන්තො බුජ්ඣස්සු අමතං පදං - යි.

යන මේ ගය කියා “ස්වාමීනි, බුද්ධාංකුරයාණෙනි! සමතිස් පැරුම් පුරා සාරාසඞ්ඛ්‍යය කප ලක්‍ෂයක් මුළුල්ලෙහි සංසාරයෙහි ඇවිද පින් රැස් කළා වූ තොප විසින් ශක්‍ර සම්පත්, මාර සම්පත්, බ්‍රහ්ම සම්පත්, චක්‍රවර්ති සම්පත් ප්‍රත්‍යෙක බෝධි සම්පත්, ශ්‍රාවක බෝධි සම්පත්, එක කලෙකත් ප්‍රාර්ථනා නො කරන ලද; ඉස්, ඇස්, මස්, ලේ, අඹුදරුවන් දන් දුන් නුඹ විසින් බුදුබව ම ප්‍රාර්ථනා කරන ලද; එසේ හෙයින් දැන් නුඹගේ පාරමිතාවෝ කුළුගත්හ. පස් බුදු කෙනෙකුන්ගෙන් උතුම් වන මේ මහා භද්‍ර කල්පයෙහි කකුසඳය, කෝණාගමන ය, කාශ්‍යප ය යි තුන් බුද්ධාන්තරයක් ගොසින් දැන් මේ නුඹ බුදුවන්නා වූ කාලය ය. බුදුන්ගේ චාරිත්‍ර වූ මවුකුසෙක පිළිසිඳ දෙව්මිනිසුන් සසරින් ගොඩනඟා ලොවුතුරා බුදු ව නිවන්පුර පුරව” යි මෙසේ ඒ දස දහසක් සක්වළ දෙවියෝ ආරාධනා කළහ. එ කල මාගේ බෝධිසත්ත්‍වයෝ දෙව්බඹුන්ගේ ආරාධනා නො පිළිගෙන ම කාලය, දීපය, දේශය, කුලය, ජනෙත්තීය, ආයුෂය යන මේ පංච මහා විලොකනයන් කළ සේක.

පඤ්චමහා විලොකනය

පංච මහා විලොකන නම් කවරහු? යත්;

යම් කාලයෙක මනුෂ්‍යයන්ගේ ආයු ලක්‍ෂයක් හවුරුද්දට බොහෝ වී නම් එ කල ජරා මරණ මඳ හෙයිනුත්, රෝගාන්තරාය, බොහෝ නො වන හෙයිනුත්, මනුෂ්‍යයන්ට දුක් මඳ වෙයි දුක් උදෙසා ම සැදැහැ උපදනා හෙයිනුත්, දුක් මඳ වීමෙන් කුසල් සිත් මඳ වෙයි. තිලකුණු සලකුණු කරරවා ගිවිස්වා ලිය නො හැක්ක. එ් තිලකුණෙහි පිහිටුුවා ලිය නො හැක්කෙන් සත්ත්‍වයාට මාර්ගඵල දී ලිය නො හැක්ක මේ කාරණයෙන් ලක්‍ෂයක් හවුරුද්දට වඩනා ආයු කාලයෙහි බුදුන් නූපදනා හෙයින් ඒ බුදුවන්නට කාල නම් නො වෙයි.

තව ද යම් කාලයෙහි මිනිස් ලොව ආයු සියක් හවුරුද්දට මඳ වී නම් ඒ හීන ආයු කාලයෙහි අකුශලයෝ බෙහෙව, කුසල ධර්මයෝ මඳ වෙති. හීනායුකාලයෙහි උපන් සත්ත්‍වයෝ කුසල් කරම්හ යි වරදවා අකුසල් කෙරෙති. කුසල් සිත සිතා අමායෙහි [46]සිරිඟි ඕනාවුන් සේ අකුසල් සිතති. කුසල් අස අසා අකුසල් අසති. ඔවා තෙපුල් නොගිවිසති. බණ කථා අසන කල දියෙහි ඇඳලූ රේඛාව පසු පස්සේ මැකී යන්නා සේ ඇසු ඇසූ බණ සිතින් මැකීගෙන යෙයි. මෙසේ සත්ත්‍වයන්ගේ සිත් විකල හෙයින් මාර්ගඵල දී ලිය නො හැක්ක. මේ මේ කාරණයෙන් සියක් හවුරුද්දට හීනායු කාලය ද බුදුන් ඉපැදීමට කල් නො වෙයි බලන්නා වූ බෝධිසත්ත්‍වයෝ එ කල මිනිස් ලොව එක්සිය විසි හවුරුද්දට ආයු දැක බුදුන් උපදනා කාලය මේ යයි දුටුසේක. මේ පළමුවන කල් බැලුම් නම.

දීප විලොකන නම් කවර? යත්;

මේ මඟුල් සක්වළ සත් දහසක් යොදුන් අපරගොයාන ද්වීපය හා පන්සියයක් කොදෙව් දැක, අට දහසක් යොදුන් උත්තරකුරු ද්වීපය හා පන්සියයක් කොදෙව් දැක. සත් දහසක් යොදුන් පූර්ව විදෙහ දිවයින හා පන්සියයක් ක්‍ෂුද්‍රද්විප දැක, දස දහසක් යොදුන් ජම්බුද්වීපය හා පන්සියයක් ක්‍ෂුද්‍රද්වීප දැක. මෙසේ සතර මහාද්වීප හා දෙ දහසක් කොදෙව් දැක “මා බුදු වන ජාතියෙහි උත්පත්තියට කවර ද්වීපයෙක් උතුම් දෝ හෝ”යි පරීක්ෂා කොට අනන්තාරියන්ත වූ බුදුන්ගේ උත්පත්තිස්ථානය වූ ඒ ජම්බුද්වීපයෙහි උපදිමි”යි දුටු සේක. මේ දෙවන ද්විප විලොකන නම.

දෙස විලොකන නම් කවර? යත්;

තව ද: ඒ ජම්බුද්වීපය නම් දස දහසක් යොදුන එයින් තුන් දහසක් යොදුන් තැන් හිමාලය පර්වතය වී ය. තවද සාර දහසක් යොදුන් තැන් සාගරයෙන් ගිලින. තුබුතුන් දහසක් යොදුන් තැන දඹදිව නම. මේ දඹදිව නම් සයානූකෙළක් පටුන් ගමින් හා, නවානූලක්‍ෂයක් ද්‍රෝණ මුඛයෙන් හා සපණසක් රුවන් ආකරයෙන් හා සමෘද්ධ විය. තව ද උත්තම කාලයෙහි එක්ලක්‍ෂ නවානූදහසක් පමණ රාජධානි ඇතියේ ය. මධ්‍යම කාලයෙහි සුවාසූදහසක් හෝ තෙසැටදහසක් ශ්‍රී නගරයෙන් හොබනේ ය. පශ්චිම කාලයෙහි එක්සියයක් පමණ රාජධානි ඇති ව මෙසේ සැදී එක මඟුල්ගෙයක් සේ ශෝභාව ජය ශ්‍රී මහා බෝධිමණ්ඩලය නම් දඹදිවට නාභිමණ්ඩලයක් සේ මැද පිහිටියේ ය. එසේ වූ බෝධිමණ්ඩපයට පූර්ව දිග්භාගයෙහි සසියයක් ගවු ගිය කල කජංගල නම් නියම් ගමෙක් ඇත. එ ගමට නැගෙනහිර ඉතා මහත් වූ ශාලද්‍රැමයෙක් ඇත. තව ද ඒ බෝධිමණ්ඩලයට අග්නි දිග්භාගයෙහි සලලවතී නම් ගඞ්ගාවෙක් ඇත. තව ද බෝධිමණ්ඩලයට දක්‍ෂිණ දිග්භාගයෙහි පන්සියයක් ගවු ගිය කල ශ්වේතකර්ණිකා නම් නියම්ගමෙක් ඇත. තව ද ඒ බෝධිමණ්ඩලයට පශ්චිම දිග්භාගයෙහි ස සියයක් ගවු ගිය කල ථූන නම් මහ බමුණුගමෙක් ඇත. තව ද ඒ බෝධිමණ්ඩලයට උත්තරදිග්භාගයෙහි පන්සියයක් ගවු ගිය කල උශීරධ්වජ නම් පර්වතයෙක් ඇත. නැගෙනහිර කී සල්ගස පටන් බටහිර, කී බමුණු ගමට එක්දහස් දෙසීයයක් ගවු ය. දකුණුදිග කී ශ්වේත කර්ණිකාව පටන් උතුරුදිග කී පර්වතයට දහසක් පමණ ගවු ය. මෙසේ අසමින් තුන්සියයක් යොදුන් හා විතරින් දෙසිය පනසක් යොදුන් හා වටින් නව සියයක් යොදුන් තැන මධ්‍ය මණ්ඩල නමි.

තව ද මේ බෝධිමණ්ඩලයට පූර්ව දිග්භාගයෙහි හා සතිපුරය, මාතඞ්කය. සෞවීරය. සේරාෂ්ට්‍රය, පුණ්ඩරීකය, කාලිඞ්ගය, සුප්පාරකය යි යන රුවන් ආකර උපන්නා වූ උතුම් වූමේ මහ නුවර සත පිහිටියේ ය. තව ද මේ බෝධිමණ්ඩලයට අග්නි දිග් බාගයෙහි සැවැත් නුවරය, ජයතුරා නුවරය, සාගල නුවරය, කුසාවතී නුවරය, රජගහා නුවරය, මියුලු නුවරය යන මේ මහ නුවර සය සලලවතී නම් ගඞ්ගාව දිශාවෙහි පිහිටියේ ය. තව ද මේ බෝධිමණ්ඩලයට දක්‍ෂිණ දිග්භාගයෙහි අශ්වපුරය කුලසවුවය, අයෝධ්‍යා පුරය, ඉදිපත් නුවරය, කුරුරටය, බරණැසය, කිඹුල්වතය යන මේ මහ නුවර සත පිහිටියේය. තවද මේ බෝධිමණ්ඩලයට පශ්චිම දිග්භාගයෙහි සිංහපුරය, අරිෂ්ට පුරය, විශාල මහා නුවරය, කොසඹෑ නුවරය, පැළලුප් නුවරය, කණී ශෞඩය‍්, දද්දරපුරය යන මේ උතුම් වූ සත් නුවර ථූන නම් බමුණුගම දිශාවෙහි පිහිටියේ ය. තව ද මේ බෝධිමණ්ඩලයට උතුරු දිග්භාගයෙහි උත්තර පඤ්චාල නුවරය, රොජය, වස්සානය, තක්සලා නුවරය, කුසිනාරා නුවරය, තාම්ප්‍රපර්ණි නුවරය, ශෞඩ දේශය, ගන්ධාර දේශය යි යන මේ අට මහ නුවර පිහිටියේය. මේ පන්තිස් මහ නුවර මධ්‍යමණ්ඩලයට ඇතුළත් විය. මේ මහ නුවර නම් චක්‍රවර්ති රජුන් හා මහ ධන සිටුවරුන් හා මහේශාක්‍ය දෙවියන් හා අසූ මහසව්වන් හා පසේබුදුන් හා ලොවුතුරා බුදුන් හා මෙ කී උත්තමයන්ගේ ම උත්පත්තිස්ථානයෙක.

මෙයින් පිටත් බංගාලය. අරමණය, වගුරටය, කොඞ්කණය. කඞ්ගුදේශය, සින්‍ධුය, ඕහළය, නේපාලය, ගුර්ජය, තිංගුරය, දොළුවරය, වෙයඟුය, කණීටය, ලාටය, පරලාටය, තිමිරිදේශය. කාකය, යවනය, තුරගය, අඳුය, මඳුය, කාම්බෝජය, පුප්පොලය, කුරුකය, ඡත්තිශය, කණීහාරය, වඩය, වල්ලුරය, මලයුරය, පංඩූරය, චීනය, මහා චීනය, කාශ්මීරය, යෝනකය, බබ්රය, ශවරය, වඩිගරය, වීරය, කල්‍යාණය, පූරණය, වෝඩය, පාණ්ඩය්‍යය යනාදි මෙ කී දේශ මධ්‍යමණ්ඩලයෙන් පිටත් වූ ප්‍රත්‍යන්ත දේශ නමි. මේ දේශවල බුද්ධාදීහු නූපදනාහුය.

එසේ හෙයින් බුදුන් උපදනා වූ මේ මධ්‍යමණ්ඩලය නම් අනන්තාපරියන්ත වූ සක්වළ වලට ද, මෙම සක්වළ නො කියන ලද සෙසු දිවයින්වලට ද, දෙව්ලොව ද, බඹලොවට ද වඩා මෙම මධ්‍යමණ්ඩලය ම උතුම්.

එසේ හෙයින් මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ “උතුම් වූ මේ මධ්‍ය දේශයෙහි ම උපදිමි” යි දුටුසේක. මේ තුන්වන දෙස විලොකන නම.

කුල විලොකන නම් කවර? යත්;

හැම සර්වඥවරයෝ ම ගොවි කුලෙහි හෝ වෙළඳ කුලෙහි නූපදනාහුය. බ්‍රාහ්මණකුලෙහි හෝ රජකුලෙහි උපදනාහු ය. යම් කලෙක රජදරුවෝ බමුණන්ට වඳිත් නම් එ කල බුදුහු බමුණු කුලෙහි උපදනාහු ය. යම් කලෙක බමුණෝ රජදරුවන්ට වඳින් නම් එ කල බුදුහු රජකුලෙහි උපදනාහු ය. එසේ හෙයින් “බමුණු කුල ය උතුම් දෝ හෝ රජකුලය උතුම් දෝ හෝ”යි මිනිස් ලොව බලා “දැන් කුලය උතුමැ”යි දැක මෙ සමයෙහි දඹදිවි තෙලෙහි තෙසැට දහසක් රාජධානිවල තෙසැට දහසක් රජුන් අතුරෙන් කවර නම් රජෙක් බුදුකෙනකුන්ට පිතෘස්ථානයෙහි සිටිමි”යි කරන ලද ප්‍රාර්ථනා ඇති ව කප් ලක්‍ෂයක් පැරුම් පුරා සිටියේ දෝ හෝ”යි බලන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ කපිලවස්තු නම් පුරයෙහි ශාක්‍යවංශ නමැති ප්‍රාසාදයෙහි නැගූ ජයකේතුවක් වැනි වූ උභයකුල පරිශුද්ධ ශුද්ධෝන නම් නරපතිහු දුටුසේක.

එ රජ කෙසේ උභයකුල පරිශුද්ධ වී ද? යත්; එහි පිළිවෙල කතාව මෙසේ දතයුතු.

මහා සම්මත වංශය

ප්‍රථම අන්තඃකල්පයෙහි සූර්ය පුත්‍ර මහාසම්මත නම් ඕපපාතික රජෙක් විය. ඒ රජ මහාජනයාගේ සම්මතයෙන් පළමුවන අභිෂේකට පැමිණි හෙයින් මහාසම්මත නම් වීය. එ රජ තෙම හිරුරැස් කලබක් බඳු වූ සියලඟ ආලෝක ඇතියේ ය. ආකාශයෙහි පලක් බැඳ වැඩහිඳ සියලු ජනයන්ට අනුශාසනා කරන මහත් වූ සෘද්ධි ඇතියේය. විද්‍යාධරයෝ සතර දෙනෙක් කඩු ගෙන රජුට සතර දිග රකවල් ගෙන සිටිනාහ. ඔහු සියලඟින් නිකුත් දිවසඳුන් සුවඳ හාත්පසින් සතර ගව්වක් තැන් පැතිර සිටිනේ ය. ඔහු බැන නැගී බස හා සමග මුඛයෙන් නිකුත් මහනෙල් මල් සුවඳ යොදනක් තැන් දිවෙයි. මෙසේ වූ සතර මහා සෘද්ධීන් රාජ්‍යය කරන්නා වූ ඒ රජ ජරා විළිපිළියක් නැති ව රෝගාදි ව්‍යසනයකුත් නැතිව පුත්‍රදාරාදි සෝකයකුත් නැතිව අසඞ්ඛෙය්‍යක් හවුරුදු මුළු දඹදිව රාජ්‍යය කෙළේ ය. එ සමය නම් සියලු සතුන්ට ම අසඞ්ඛ්‍යෙයායු සමය ය. එ කල අකුශල ධර්මයෝ තමා ම නැත. එසේ හෙයින් කුශල ධර්මයන්ගේ නිෂ්කලඞ්ක භාවයෙන් සත්ත්‍වයෝ උපන් කල් නො දනිති. මියන කල් නො දනිති. ජරා විළිපිළි නැත. අජරාමරයන් වැනියහ. දෙව්ලොව දෙවියන්ට පවා ආයු මඳ ය යි අපහාස කරන්නාහ. එසේ හෙයින් එ කල මිනිස්ලොව දෙව්ලොවටත් වඩා ආයු සම්පත්තීන් වඩනේ ය. එ සමයෙහි සිවුපාවෝ සිංහයන් රජ කළහ. පක්‍ෂීහු හංසයන් රජ කළහ. දියෙහි මස්හු, ආනන්‍ද නම් මත්ස්‍යයා රජ කළහ. යටත් වසයෙන් කුරුකුහුඹුවෝ දක්වා තමන් තමන්ට රජුන් ඇති කළහ. එහි විභාග ඒ ඒ ජාතක සූත්‍රාදී පූර්වකථාවලින් බලා දතයුතු.

පසුව ඒ මහාසම්මත රජහුගේ පිත් රොජ නම් රජ ද, එසේම අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේය. ඔහු පිත් වරරොජ නම් රජ ද, අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේය. ඔහු පිත් කල්‍යාණ නම් රජ ද, අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් වරකල්‍යාණ නම් රජ ද. අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් උපොසථ නම් රජ ද, අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් මහාමන්‍ධාතු නම් චක්‍රවර්ති රජ මහත් වූ ආඥා තේජස් ඇති විය. ඔහු වමත හකුළුවා දකුණතින් අත් පොළසන් දී ආකාශය බලා “දෙවියනි! මට මිනිස්ලොව සම්පත් නො කැමැත්තේ ය. මාගේ ආඥාවක් ඇත්නම් මට දිව්‍ය සම්පත් දෙව”යි හඞ්ගා කී කල සියලු දෙවියෝ සුළං ගත් මහ වනයක් සේ වෙවුලා වෙන වෙන සත් රුවන් වැසි වස්වා වටසතිස් යොදනක් මානයෙහි දන පමණ කටි පමණ රුවන් ගොඩවල් පුරන්නාහුය. ඒ රජ මෙසේ මිනිස්ලොව බොහෝ සුව විඳ එම ආත්මභාවයෙන් දෙව්ලොව නැඟී සතිස් ශක්‍ර කෙනකුන්ගේ ආයු පමණින් එක්සිය විසිනවකෙළ සැටලක්‍ෂයක් හවුරුදු දිව්‍යසම්පත් විඳ නැවත එම ආත්මභාවයෙන් මිනිස්ලොවට බැස ඒ ඇතුළු අසඞ්ඛෙය්‍යක් හවුරුදුම රාජ්‍යය කෙළේය.

ඔහු පිත් වරමන්‍ධාතු නම් රජ ද, අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඒ රජහු ඇමැතියන්ට කැමැති වව ප්‍රසාද දෙමියි පාද ඝර්ෂණය කළ කල කැමැති කැමැති සම්පත් පයින් වැගිරෙයි. ඔහු පිත් වර නම් රජ ද, අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් උපචර නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේය. ඔහු පිත් චෙතිය නම් රජ ද, අසඞ්ඛ්‍යයක් අවුරුදු ම රාජ්‍යය කෙළේ ය. එ රජ පෙර තමා හා කැටි ව එක ගුරුන් කෙරෙහි ශිල්ප උගත් කොරකළම්බක නම් බමුණාන්නට අග්‍ර පුරෝහිත ස්ථානාන්තර දෙමියි ඔවුන් බෑ කපිල නම් පුරෝහිතයන් බොරුවක් කියා බාල කොට කොරකළම්බකයන් මහලු කොට ස්ථානාන්තර දෙමි යි නුවර සැලකළ කල ඒ ඇසූ රාජ්‍යවාසීන් “බොරු නම් සුදු දෝ හෝ, කළු දෝ හෝ, රත් දෝ හෝ, නිල් දෝ හෝ, අද ඒ බලම්හ”යි රැස් වූ කල්හි කපිල නම් මහාසෘෂීන් වළක්ව වළක්වා නො වැලක ලොවට බොරු උපදවා එ කෙණෙහි ම මහපොළොව ගැල ඡන්‍දයෙන් දුගතියට ගියේ ය.

වදාළේ මැනෝ:

ස රාජා [47]ඉද්ධිනා සන්තෙඃ - අන්තලික්ඛෙ වරො පුරෙ,

පාවෙක්ඛි පඨවිං චණ්ඩො - හීනන්තො පත්තපරියායං - යි.

බොරු ඉපැද වූ රජ දනට. ඔහු විසූ නුවර ද නට. ඔහුගේ පුත්‍රයෝ පස් දෙනෙක් වූහ. ඔහු කපිල නම් සෘෂීන්ගේ අනුශාසනා වූ පරිද්දෙන් එක්කෙනෙක් බරණැසට පූර්වභාගයෙහි හස්තිපුරය කරවා විසූහ. එක්කෙනෙක් දක්‍ෂිණ දිග්භාගයෙහි අශ්වපුරය කරවා විසූහ. එක්කෙනෙක් පශ්චිම දිග්භාගයෙහි සිංහ පුරය කරවා විසූහ. එක්කෙනෙක් පශ්චිමෝත්තර දිග්භාගයෙහි දද්දර පුරය කරවා විසූහ. එක්කෙනෙක් උත්තර දිග්භාගයෙහි පඤ්චාල නුවර කරවා විසූහ. එහි විභාග චේතිය ජාතකය බලා දතයුතු.

එ කල පළමුව සියලු දුශ්චරිතයෙන් මෙසේ මුසාවාදය ලොව පහළ වී යයි දතයුතු. එතැන් පටන් දෙවියෝ රජුන්ට අරක්ගෙන නො සිටිනාහ. එ කල ඇමැතියෝ උත්පත්ති දෙවියන් නො ලදින්, සංවෘති දෙවියන් අරක් ගන්වම්හ යි මල් රජකුමරුවන් සතර දෙනකු කඩු දී අරක්ගෙන සිටුවා මුචලයන් අභිෂේක කළහ. ඔවුන් සතර දෙනාගේ දරුමුනුබුරෝ සුවහස් ගණන් ඇතිව මහා ගනි ව වැස උපනුපන් රජුන්ට ආත්මාරක්‍ෂාවෙහි නියුක්ත ව දැන් දක්වා ගණවාසි රජහ යි පැවැත්තැ යි දතයුතු.

ඒ චේතිය රජු මහලු පිත් මුචල නම් පිය රජහු පොළොව ගිලූ භයින් රාජ ධර්මයන් නො වරදවා අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් මුචලින්‍ද නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් සගර නම් රජ ද අසඞ්ඛෙය්‍යක් හවුරුදු රාජ්‍යය කෙළේ ය. ඔහුගේ සැටදහසක් පමණ පුත්‍රයෝ මුළු දඹදිව වෙන වෙන ම සැටදහසක් රාජධානි උපදවා වෙන වෙන ම චක්‍රවර්ති ප්‍රතිරූපයෙන් රාජ්‍යය කොට මහාසම්මත වංශ නමැති මහලියයෙහි මල් පිපී වැනී ගියා සේ රාජවංශය අසඞ්ඛ්‍යය ගණන් වර්ග කළහ. ඔවුන්ගේ වෙන් වෙන් වර්ග පරම්පරායෙහි දරුමුනුබුරු රජහු කාලයක් ගිය කල ඔවුනොවුන්ගේ වර්ග විභාග නො දැන වෙන වෙන රාජවංශ ව්‍යවහාර කළහ. මුලින් වූ කලී සියලු රජහු ම මහාසම්මත වංශයෝ යයි දතයුතු.

ඒ සැටදහසක් රජුන් අතුරෙන් සාගර නම් මහලු පිත් අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේය. ඔහු පිත් භරත නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් භගීරථ නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් රුචි නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් සුරුචි නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් ප්‍රතාප නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේය. ඒ රජ තමා බිසොව තමා දැක්ක දී සත්මැසි දම්පල් නම් පුත් කුමරහු වඩාගෙන උස උන්හයි කිපී කුමරහට අසිමාලක නම් වධ කරවා ලොවට ප්‍රාණඝාත ඉපැදවීය. එකෙණෙහි ඔහු ද මහ පොළොව ගැල අවීචි මහනරකයෙහි හෙළීය. එ කල ප්‍රාණඝාතය ලෝකයෙහි පහළ වී යයි දතයුතු.

උපන් උපන් අකුශල ධර්මයන් නැවත නැවත අන්තර්ධාන වන හෙයින් නැවත නැවත රජුන් ධර්මයෙන් ම වසන හෙයින් රජුන්ගේ ආයු වූ කලී අඩු නොවේම ය. ක්‍රමක්‍රමයෙන් රජහු වර්ණයෙන් අඩු වූවාහු යයි දතයුතු.

ඒ මහා ප්‍රතාප නම් රජහු පිත් පනාද නම් රජ ද, අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් මහාපනාද නම් රජ ද සක්දෙව් රජහුගේ නියෝගයෙන් අවුත් මිනිස්ලොව ඉපැද සත්රුවන්මය පායෙක සදහසක් නළුවන් හා සමග අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. වදාළේ මැනෝ.

පනාදො නාම සො රාජා - යස්සයූපො සුවණ්ණයො,

තිරියං සොළස උබ්බෙධො - උච්චමාහු සහස්සධා.

සහස්සඛණ්ඩො සතභෙදො - ධජාලූ හරිතා යුතො,

අනච්චුං තත්‍ථ ගන්‍ධබ්බා - ඡ සහස්සානි සත්තධා - යි.

ඒ මහාපනාද නම් රජහු පිත් සුදර්ශන නම් රජ ද. අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේය. ඔහු පිත් මහා සුදර්ශන නම් චක්‍රවර්ති රජ ද. සත්රුවන්මය වූ දොළොස් යොදුන් මහ නුවර කදී අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත්නෙරු නම් රජ ද අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් මහානෙරු නම් රජ ද අසඞ්ඛෙය්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් අච්චීමන්ත නම් රජ ද අසඞ්ඛෙය්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය.

මෙසේ මහාසම්මතය, රොජය, වර රොජය, කල්‍යාණය, වර කල්‍යාණය, උපොසථය, මන්‍ධාතු ය, වර මන්‍ධාතු ය, චර ය, උපචරය, චෙතිය ය, මුචල ය, මුචලින්‍ද ය, සගරය, සාගරය, භරතය. භගීරථ ය, රුචිය, සුරුචිය, ප්‍රතාපය, මහා ප්‍රතාපය, පනාදය, මහාපනාදය. සුදර්ශනය, මහාසුදර්ශනය. නෙරුය, මහානෙරුය, අච්චීමන්තයයි අසඞ්ඛෙය්‍යයක් අසඞ්ඛෙය්‍යයක් හවුරුදු ම රාජ්‍යය කළා වූ මේ රජහු අටවිසි දෙන ම කුසාවතී නුවරය. රජගහ නුවරය. මියුලු නුවරය යි මේ උතුම් තුන් නුවර ම රාජ්‍යය කළහ. කීයේ මැනෝ:

අසංඛියායුකා එතෙ - අට්ඨවීසති ඛත්තියා

කුසාවතිං රාජගහං - මිථිලඤ්චාපි ආවසුං - යි.

එතැන් පටන් රජහු වර්ණයෙන් ද ආයුෂයෙන් ද අඩුවූහ යි දතයුතු.

කෙළවර කී අච්චිමන්ත රජහුගේ දරුමුනුබුරෝ අසංඛෙය්‍යායු නො ලදින් කෙළගණන් හවුරුදු ආයු වළඳා ලක්‍ෂයක් රජහු ම පරම්පරාවෙන් රාජ්‍යය කළහ. ඔවුන් කෙළවර සගර නම් රජහු පිත් මඛාදෙව නම් රජෙක් වි ය. එ රජ දෙ ලක්‍ෂ දෙපනස් දහසක් හවුරුදු ආයු වළඳා මියුලු නුවර හිඳ රාජ්‍යය කරන කළ පළමුවන නරකෙස ඕහට පහළ විය. එ රජ නරකෙස දැක අනිත් ලකුණු උපදවා නරකෙස පෑ කපුවාට ගම්වර දී, තමා ගේ මඛාදේව නම් පුතුට රාජ්‍යය දී, මහණ ව මඛාදේව නම් උයනදී සුවාසූදහසක් හවුරුදු තපස් කොට බ්‍රහ්මලෝකයෙහි උපන, වදාළේ මැනෝ:

උත්තමංගරුහා මය්හං - ඉමෙජාතා වයොහරා,

පාතුභූතා දෙවදූතා - පබ්බජ්ජා සමයො මම - යි.

එ රජහු පටන් මහාසම්මතවංශ නම් පෙරළී මඛාදේව වංශ නම් විය. ඒ වංශයෙහි දරුමුනුබුරු පරම්පරාවෙහි සුවාසූදහසක් මඛාදේවරජහු ම පළමුවන නරකෙස දැක පෙර රජුන් කළ සිරිත් නො වරදවා ම රාජ්‍යය හැර ගොස් තපස් කොට බ්‍රහ්මලෝකයෙහි උපන්හ. තුන්ලක්‍ෂ සතිස් දහසක් හවුරුදු බැගින් ආයුත් වැළඳූහ. පසුව රජහු ජරා විළි පිළි බොහෝ සේ දැක්මෙන් තපසට නො ගියහ. එසේ හෙයින් ඒ මඛාදේව වංශ නම් පෙරළී කෙළවර කාලාර ජනක රජහු පිත් අශෝක නම් රජෙක් වී ය. ඔහු පිත් ප්‍රථම ඔක්කාත නම් රජෙක් වී ය. එතැන් පටන් මඛාදේව වංශ නම් පෙරළී ඔක්කාක වංශ නම් විය. ඒ වංශයෙහි කුස රජය, දිලීපය. රඝුය, අජය, දශරථය, රාමය, යනාදී ලක්‍ෂයක් ඔක්කාක රජදරුවෝ ම පනස් දහසක් හවුරුදු ය, සමහරු සතළිස් දහසක් හවුරුදු ය, සමහරු තිස් දහසක් හවුරුදු ය, සමහරු විසි දහසක්, සමහරු සොළොස් දහසක්, පසළොස් දහසක්, දස දහසක්, පන් දහසක් යනාදි වශයෙන් බැස බැස ආයු වැළඳූහ. දශරථ ජාතකයෙහි වදාළේ මැනෝ:

දසවස්ස සහස්සානි - සට්ඨිංවස්සසතානි ච,

කම්බුගීවො මහාබාහු - රාමො රජ්ජමකාරයි-යි

තවද ඒ ලක්‍ෂයක් රජුන්ගෙන් කෙළවර ද්විතීය ඔක්කාක නම් රජෙක් වීය. ඔහුගේ පරම්පරාවෙහි උදය, භද්දය, ධනඤ්ජය, කොරව්‍ය ය, වෙදෙහ ය, සඤ්ජ ය ය, වෙස්සන්තර ය, ජාලිය ය. සිංහ වාහන ය, යනාදි වූ ලක්‍ෂයක් රජහු රාජ්‍යය කරන්නාහු දස දහසක් හවුරුදු පටන් මෑත කනිෂ්ඨ වූ ආයු වළඳා රාජ්‍යය කළහ. ඒ වංශයට කෙළවර සුජාතා නම් රජහු පිත් අම්බට්ඨ නම් වූ තෘතීය ඔක්කාක නම් රජෙක් විය. එ රජහුගේ හස්තා ය, චිත්‍රා ය. ජන්තු ය. ජාලිනී ය, විශාඛා යයි යන පන්සිය පුරස්ත්‍රීන්ට නායක වූ අගමෙහෙසුන් බිසෝවරු පස් දෙනෙක් වූහ. උන් පස්දෙනා කෙරෙන් හස්තා නම් බිසොවු උල්කාමුඛ ය, කලණ්ඩුක ය, හස්තිනීක ය, සිරිනිපුර ය යන පුතුන් සතරදෙනෙකු හා ප්‍රියා ය, සුප්‍රියා ය. නන්‍දා ය, විජිතා ය, විජිත සෙනා යයි දූන් පස් දෙනෙකු හා සමග රජු හා එක්වැනි වූ දරුවන් නවදෙනෙකු වදා මෙසේ ඒ හස්තා නම් බිසොවු කලෙකින් පරලොව ගියහ. එ කල රජ අනික් යෞවන ස්ත්‍රියක අගමෙහෙසින් කෙළේ ය.

ඒ බිසෝ ද රජුට ජන්තු නම් පුතකු වදා එ කුමර උපන් පස් දවසින් නාවා මලින් සරහා මල්දමක් සේ කුමරු දෑතින් ගෙන “හිමි! තොප පුතු රූසිරි බලව”යි රජු අතට වඩාලුව. රජ තමා ගිය යොවුන් කල ලත් පුත්‍රයා හෙයින් මහත් වූ ප්‍රේමයෙන් පුතු සිඹ සනසා පෙම්වතුරු රඳවාගත නොහෙනුයේ බිසොවුන් මූණ බලා “මෙ වැනි පුත්රුවනක් වදා දුන් තිට සිත්කලු වූ වරයක් දෙමි; දැන් ම හැරගණැ”යි කී ය. එකෙනෙහි බිසෝ සතුටු ව “මා කැමති විටෙක ඉල්වා ගන්මි”යි එ විට නොගෙන පසුව පුතු වැඩුනු කල්හි “හිමි මට අන් වරයෙකින් කම් නැත, තොප මට නුදුන් රුවනෙක් නැත; මවුතුට රජය දෙව”යි කිව. එ බසට රජ කිපී “කෙල්ල, චණ්ඩාල දුව! කප්රුක් සේ මපුතුන් සතර දෙනකු දිලියෙමින් සිටියදී තී පුතුට රජය ඉල්වයි ද මපුතුන් මරනු කැමැතියෙහි දැ”යි බනිනුයේ සිරියහන් ගෙට වන.

තවද: මෙයින් කීප දවසක් ගිය කල රජු හා සමග ප්‍රියකථා කරන වේලෙහි “රජදරුවන් නම් බොරු කිය නො හැක්ක, පෙර බොරු කී රජකු පොළොව ගිලී යයි නො ඇසූ විරූ ද. තොප වැනි ධර්මිෂ්ඨ වූ රජුන් බොරුබස් කියනු ඉතා නො යෙදෙයි. කැමැති වරයක් දෙමි යි පළමු කියාලා දැන් මා කැමැති ව ඉල්වූ වරය නොදෙති”යි රජහට නො එක් වර නින්දා බැණ රජය ඉල්වයි. එකල බොරු කීවයි යන බසට පිළිකුල් කරනුයේ තමාගේ මාලු පුතුන් සතර බෑයන් ගෙන්වා “දරුවෙනි! තොපගේ මේ ජන්තු නම් මල් කුමරුවාට නො සලකා රජය දිනීමි. මා ඇති සමයේ ඒ ජන්තුවා ම රජය කෙරෙයි. මා නැති කල තොපගේ රජය තොපට ම දිනිමි. ස්ත්‍රී නම් මායම් දනිති. තෙපි මෙ නුවර නො රඳා මාගේ වල්විදුනාව හා නළල්පට හා මගුල් කඩුව හා රන් මරවැඩි හා දළපුඩු සේසත හා මේ පඤ්ච කකුධ භාණ්ඩයන් පමණක් තිබියදී තොප කැමැති කැමැති සෙනග හා කැමැති කැමැති පමණ රුවන් ගෙන මෙයින් ගොස් අනික් තෙනෙක වසව”යි කියා පුතුන් සතරදෙනා සිඹ සනහා වැලප රජු සමු දින.

එකල ඒ රජකුමරුවෝ සතරදෙන පියරජහු වැඳ සමුගෙන කැමැති කැමැති පමණ රුවන් ගෙන, කැමැති කැමැති පිරිස් ගෙන නුවරින් නික්මුණාහ. රජහුගේ දූ පස්දෙන ද එ පවත් අසා “අප මල් කුමරුවන් රටින් යන කල අපි කවුරුන් බලා රඳමෝදැ”යි තමන් තමන් කැමැති පිරිවර හා සැපත් ගෙන නික්මුණාහ. එකල මුළු නුවර අසුරයන් වන් ශක්‍රපුරය සේ ඇළලී ගි ය. අපගේ රජහුගේ දරුවෝ රටින් යෙත් ල. මතු අවුදින් රජය ගණිත් ල. උන් හා කැටිව දැන් අපි නො ගියමෝ නම් මතු රාජවල්ලභ විය නො හැක්කැ යි සුවහස් ගණන් මහ ඇමැතියෝ නික්මුණාහ. බ්‍රාහ්මණ සාරයන් හා ධන සිටුවරු සියගණන් නික්මුණාහ. මහ වෙළෙඳනා වරුන් හා මාලේනාවරුන් දහස් ගණන් නික්මුණාහ. පළමුවන දවසට සතර ගව්වක් තැන් පිරී සිට ගත්හ. දෙවන දවසට අට ගව්වක් තැන් ගලා ගත්හ. තුන්වන දවසට දොළොස් ගව්වක් තැන් අවකාශ නැති ව පිරී සිට ගත්තා වූ මහ පිරිස් විය.

ඉක්බිත්තෙන් රජකුමරුවෝ මේ සා මහත් පිරිස් හා සමග නුවරින් නික්ම බරණැසට අග්නි දිග්භාගයෙහි යොදුන් ගණනක් ගොස් ඔවුනොවුන් හා සමග කතා කරන්නාහු: “අපගේ බල සෙනග මහත, මේ දඹදිවින් කැමැති රජයක් උදුරාගෙන එහි රජ කරමෝ නම් ඉතා බැරි නොවෙයි. අනික් රජකු අනුභව කළ රාජ්‍යයෙක් නම් අපට ඉසවත් භෝජනයක් සේ පිළිකුල. අපගේ ඔක්කාක වංශයට සුදුසු නො වෙයි. අනුන් සතු දෙය උදුරා ගැන්මත් රාජධර්මයෙක් නො වෙයි. මිනිසුන් නැති මහා වන මධ්‍යයෙක නුවරක් කරවා වැවු අමුණු බඳවා කෙත්වත් තනවා ධර්මිෂ්ට වූ යෙම් වාසය කරම්හ”යි මෙසේ වූ මන්ත්‍රණය කොට එක් බිමෙක මහ සෙනඟ රඳවා ඇමැතියන් හා සමග නුවරකට සුදුසු බිමක් බලන්නාහු ය.[48]

එ කල මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ කපිල නම් තාපස ව එක් විලකට නුදුරු තැන බොහෝ ශාඛද්‍රැමයෙන් යුක්ත වූ වන මධ්‍යයෙක පන්සලක් කරවා ඝෝර වූ [49]තපස් කොට වාසය කරන දෑ ය. වල ඇවිදුනා රාජකුමාරයෝ බෝධිසත්ත්‍වයන් දැක වැඳ එකත්පස් ව සිටියාහු ය. එ කල බෝසතාණෝ මොහු ඔක්කාක රජ දරුවෝ යයි හැඳිනගෙන “දරුවෙනි! මේ කෙසේ වූ අසරණ ගමනෙක් ද; කුමක් සොයා වල ඇවිදුදැ”යි විචාළ දෑ ය. රජ කුමරුවෝ තමන් රටින් ආ පවතුත් නුවරක් කරවාගන්ට සුදුසු බිමක් බලන පරිදි ත් බෝසතුන්ට කීහ.

ඒ ජාතියෙහි බෝධිසත්ත්‍වයෝ භූමිවිජය නම් ශිල්පයක් දැන ආකාශයෙන් අසූ රියනෙක හා පොළොවෙන් අසූ රියනෙක හා ලක්‍ෂණ දන්නා දෑ ය. ඒ වෙනෙහි එක් බිමෙක තෘණලතාවෝ දක්‍ෂිණාවතී ව නැමී සිටිනාහු ය. [50]කැණහීලන්ට බා දිවන්නා වූ සාවුන් හා මීවින්නෝ එ බිමට අවුත් වැද පෙරළී නැමී කැණහිලුන් ලුහුබඳවා ගනිති. නයින් දැක දිවන්නා වූ මීයන් හා මැඩියෝ එ තැනට වැද භය නැති ව ගොස් පෙරළි නයින් ලුහුබඳවා ගනිති. දිවියන් දැක දිවන මුවපොල්ලෝ එ තැනට වැද පෙරළා දිවියන් ලුහුබඳවා ගනිති. බෝධිසත්ත්‍වයෝ මේ කාරණ දැක “මේ ජයභූමියෙක. චක්‍රවර්ති රජුන් හෝ ලොවුතුරා බුදුන් හෝ උපදනා බිමෙක. මතු අපවත් නුවුව මැනවැ”යි සිතා එ බිම පන්සලක් කොට වාසය කරන සේක. එ දා ඒ රජකුමරුවන් කී බස් අසා “දරුවෙනි! නුවරක් කැමැතියා නම් මාගේ මේ පන්සල් භූමිය ගනුව. මෙ බිම වසන චණ්ඩාලයෙක් වී නමුත් චක්‍රවර්ති පිරිසක් පරදවා පියන ආඥා ඇත්තේ ය. මතු මේ භූමියෙහි උපදනා වූ පුරුෂයෙක් මුළු ලෝ වැසියන් විසින් සත්කාර ලබයි”යි කියා භූමිය වර්ණනා කොට පන්සල්බිම දීලා ‘තොප මට කරන උපකාර නම් මේ නුවර නිමි කල මාගේ කපිල නම් තබව”යි කි දෑ ය.

ඉක්බිත්තෙන් රජකුමරුවෝ එ තැනට නුදුරු තෙන පන්සලක් නිමවා බෝසුතන්ට පිළිගන්වා ඒ මහවනය මුල්සිඳුවා ඒ පන්සල් බිම මහත් වූ මාලිගාවක් කරවා පවුරු පදනම් දොරටු වීථි අටලු ආදියෙන් එ නුවර නිමවා කපිලවස්තු නමැයි තාපසයන් නමින් නුවරට නම් තබා ඔවුනොවුන් හා සමග කථා කරන්නාහු: “අපි ඉදින් කියා යවුමෝ නම් මෙ දඹදිව් තෙලෙහි අපට සරණක් නො එවන රඩෙක් නැත. එසේ ජාතිසම්භේදයෙක් වි නම් අපගේ ඔක්කාක වංශයට කිළිටු ය. අපගේ නඟුන් පාවා දෙන්ට සුදුසු අනික් රජෙකුත් නැත. ඥාතිසම්භේදයට වඩා ජාතිසම්භේදයක් නොවීම ම උත්තම යැ”යි හැමදෙනාට වැඩිමාලු වූ ප්‍රියා නම් බහුනැනියන් මව් තනතුරෙහි තබා සතර බෑයෝ තමන් තමන්ට කුඩා නගුන් අගමෙහෙසියන් කොට රක්‍ෂා කළහ. ඒ බිසෝවරු සතරදෙන ම දුන් අට අට දෙනා හා පුතුන් අට අට දෙනා හා බැගින් සූසැටක් දරුවන් වැදූහ. එ කල පිය මහරජ්ජුරුවෝ මෙ පවත් අසා “ම දරුවෝ රටින් ගොසිනුත් ජාතිසම්භේදයක් නො කළාහුයැ”යි සාධුනාද පවත්වා “සක්‍යා වත භො රාජ කුමාරා; පරම සක්‍යා වත භො රාජ කුමාරා”යි ප්‍රීතීන් තුන්යලක් උද්දාන ගායනා කළහ.

අම්බට්ඨ නම් ඔක්කාක රජු කළා වූ ප්‍රීති උද්දානය හේතුකොට ගෙන එ තැන් පටන් ඔක්කාක වංශය නම් පෙරළී අම්බට්ඨ ශාක්‍ය වංශ යයි මෙ නමින් ප්‍රසිද්ධ විය.

මෙසේ ඒ ශාක්‍යවංශයෙහි රජුන් එම කිඹුල්වත් නුවර දෙලක්‍ෂ තෙවිසි දහස් සත්සිය එකුන් සැත්තෑවක් රාජපරම්පරා ගිය කල කෙළවර බුදුකෙනකුන්ට මුතුන් වන පින් ඇති ජයශේන නම් රජහු පිත් සිංහහනු නම් රජෙක් විය. ඔහුගේ කසයින් නම් අගමෙසෙුන් බිසොවුන් වැදූ දරුවෝ ශුද්ධෝදන ය, අමිතෝදන ය, ධෝතෝදන ය, සුක්කෝදන ය, ඝටිතෝදන යයි පුතුන් පස්දෙනෙකු හා අමිතාවෝ ය, පාරලී යයි යන දූන් දෙදෙනෙකු හා මෙසේ දරුවෝ සත් දෙනෙක් වූහ. එයින් ශුද්ධෝදන නම් කුමරු වැඩී පියරජහු අයාමෙන් කපිලවස්තු පුරයෙහි දශරාජ ධර්මයෙන් රාජ්‍යය කෙරෙයි.

එකල මාගේ බෝධිසත්ත්‍වයෝ තුසීපුරයෙහි වැඩහිඳ දෙවියන් කළ ආරාධනාවෙන් මිනිස්ලොව බලා මහාසම්මත රජහු පටන් ශුද්ධෝදන රජහු දක්වා ක්‍රමයෙන් රාජ්‍යය කලා වූ සත්ලක්‍ෂ සත්දහස් සත්සිය සතානූවක් මහාසම්මත වංශයෙහි වූ හිරු ගොත් රජුන් දැක “මේ රාජවංශය මාගේ උත්පත්තියට උතුම් වෙයි. කාරණ කිම? යත්:- මේ රාජවංශයෙහි පාරමිතා පුරා සංසාරයෙහි ඇවිදුනා වූ මම් ම පළමුවන මහාසම්මත නම් රජ ව [51]උපන්මි; මහාමන්‍ධාතු නම් චක්‍රවර්ති රජ ව උපන්මි; මහා සුදර්ශන නම් චක්‍රවර්ති රජ ව උපන්මි; මඛාදේව නම් රජ ව උපන්මි; නිමි රජ ව උපන්මි; කුස රජ ව උපන්මි; රාම නම් රජ ව උපන්මි; උදය භද්ද නම් රජ ව උපන්මි; මහිංසක නම් රජ ව උපන්මි; කට්ඨාරි නම් රජ ව උපන්මි; මහාසීලව නම් රජ ව උපන්මි; චූල ජනක නම් රජව උපන්මි; මහා ජනක නම් රජව උපන්මි; චුල්ලපදුම නම් රජ ව උපන්මි; මහාපදුම නම් රජ ව උපන්මි; චුල්ලසුතසෝම නම් රජ ව උපන්මි; මහා සුතසෝම නම් රජ ව උපන්මි; පඤ්චායුධ නම් රජ ව උපන්මි; ධර්ම නම් රජ ව උපන්මි; සතභාතුක නම් රජ ව උපන්මි; සහස්සභාතුක නම් රජ ව උපන්මි; ධර්මිෂ්ඨ නම් රජ ව උපන්මි; භාගිනෙය්‍ය නම් රජ ව උපන්මි; රාජෝවාද නම් රජ ව උපන්මි; අලීනචිත්ත නම් රජ ව උපන්මි; වේදේහ නම් රජ ව උපන්මි; අසදෘශ නම් රජ ව උපන්මි; සක්ක දත්තිය නම් රජ ව උපන්මි;

තව ද ගන්‍ධාර නම් රජ ව උපන්මි; මහාගන්‍ධාර නම් රජ ව උපන්මි; ආදාසමුඛ නම් රජ ව උපන්මි; සුද්ධභෝජන නම් රජ ව උපන්මි; අනිත්‍ථිගන්‍ධ නම් රජ ව උපන්මි; තව ද කුරුධර්ම නම් රජ ව උපන්මි; ඝත නම් රජ ව උපන්මි; ධර්මපාල නම් රජව උපන්මි; දීඝායු නම් රජ ව උපන්මි; මහාදීඝායු නම් රජ ව උපන්මි; තව ද සුසීම නම් රජ ව උපන්මි; කුම්මාසපිණ්ඩ නම් රජ ව උපන්මි; පරන්තප නම් රජ ව උපන්මි; උදය නම් රජ ව උපන්මි; භරත නම් රජ ව උපන්මි; තව ද සාධීන නම් රජ ව උපන්මි; සිවි නම් රජ ව උපන්මි; මහාසිවි නම් රජ ව උපන්මි; සොමනස්ස නම් රජ ව උපන්මි; අයොඝර නම් රජ ව උපන්මි; තව ද අලීනසන්තු නම් රජ ව උපන්මි; අරින්‍දම නම් රජ ව උපන්මි; තේමිය නම් රජ ව උපන්මි; චන්‍ද්‍ර නම් රජ ව උපන්මි; එකුන්විසි වාරයක් බරණැස් රජ ව උපන්මි; කෙළවර මහා වෙස්සන්තර නම් රජ ව ඉපැද සත්වාරයක් මහපොළොව ගුගුරුවා, මහදන් වතුරු කොට පැරුම් කුළුගෙන අවුත් මේ තුසිත පුරයෙහි සන්තුෂිත නම් දිව්‍යරාජන් ව උපන්මි. මේ මේ කාරණයෙන් මාගෙන් ම අලඞ්කෘත වූ, මාගෙන් ම ශ්‍රීමත් වූ, මාගේ ම මේ මහා සම්මත වංශයෙහි කෙළවර උපන්නා වූ යට කී උභය කුල පරිශුද්ධ ශුද්ධෝදන නම් රජතෙම බුදුකෙනකුන්ට පිතෘස්ථානයෙහි සිටිමි යි පින්කොට කප් ලක්‍ෂයක් පිරූ පාරමිතා ඇත්තේ ය යි බලා සනිටුහන් කළ සේක. මේ සතරවන කුල විලොකන නම.

තව ද: බුදුකෙනෙකුන් වදන මවක නම් කප් ලක්‍ෂයක් පැරුම් පුරා කරන ලද ප්‍රාර්ථනා ඇත මැනව. උභය කුල පරිශුද්ධ වුව මැනව. උපන් තැන් පටන් පස්පව් නොකළ මැනව. එක රජක් හට ම පතිව්‍රතා ධර්මයන් රක්‍ෂා කළ මැනව. මේ ආදී ගුණ ගණාඞ්ගයෙන් පිරුණා වූ මට මවුවන්ට සුදුසු වූ උත්තම ස්ත්‍රියක් කවරක් දෝ හෝ යි මිනිස් ලොව බලා පරීක්‍ෂා කරන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ කෝළිය නම් නුවර මහා සුප්‍රබුද්ධ නම් අනුශාක්‍ය රජුට දූ ව. එම සුද්ධෝදන නම් රාජෝත්තමයාට අගමෙසෙින් වූ මහාමායා නම් දේවී බුදුකෙනෙකුන් වදමි යි ප්‍රාර්ථනා කොට අව. ඕ තොමෝ මට දැන් මවු වන්නීය යි දුටුසේක.

ඒ මහාමායා දේවීන් උභය කුල පරිශුද්ධ වූ පරිදි කෙසේද? යත්; යට කී මහාසම්මතය. මඛාදේව ය, ඔක්කාක ය, යන තුන් පරම්පරාව ගොස් ශාක්‍යවංශයට උත්පත්තිස්ථාන වූ කපිල නම් පුරෙහි තුන්වන ඔක්කාක රජුගේ දරු වූ සිවුබෑ රජුන් නගුන් රක්‍ෂා කොට ජාතිසම්භේදයක් නො කොට රජය කරන කල හැමදෙනාටම බූන් වූ ප්‍රියා නම් බිසොවුන්ට ශ්වේතකුෂ්ඨ නම් රෝගයක් ඇති ව සකල ශරීරය සුදුව කොබලීල මල්පෙත්තක් සේ විය. එ කල මල් රජ දරුවෝ ඔවුනොවුන් හා සමග මන්ත්‍ර ණය කරන්නා හු “මොවුන්ට ඇතිවූයේ පාපරෝගයෙක. මේ රෝගය නම් කැටි ව කෑවන් කරා යෙයි දුටුවන් කරාත් යෙයි එක ගෙයි වසනුවන් කරාත් යෙයි. මතු අප ඇමදෙනාටත් මේ රෝග ය බෙදී යෙයි” කියා තමන් තමන් කෙරේ භය ඇති ව දවසක් උයන් කෙළියට යම්හ යි කියා බූනැනියන් රථයකට නංවා කඩතුරාවකින් වසා ගඟ ඔස්සේ ගොසින් එක් වන මධ්‍යයක මහත් කොට වළක් බිඳුවා, වළ යට යානක් අතුරුවා, දිය දර ලුණු ඇමුල් වළන් සාල් ගිනි ආදිය වළ යට පටවා, බූනැනියන් ඒ යානේ ලවා, වළ මතුයෙහි පුවරු අතුරුවා පස්මේ කරවා කඳුළු මුසු මුහුණින් ගියහ. එකල දේවී වළ යට දීම පිස කා ජීවිතය රකියි. මෙසේ වසන කල දඹදිව රාම නම් රජකුට ද ඒ කුෂ්ඨරෝගය ඇතිවිය. බිසෝවරු ද නාටකස්ත්‍රීහු ද ඔහු ළඟට පිළිකුල් ඇතිව නො වදිති. ඒ රජ මහත් වූ ලජ්ජා ඇතිව තිලකුණු මෙනෙහි කොට පුත් කුමරුවාට රජය දී තෙමේ “වළ හෙව එ කලාව මියෙමි”යි සිතා ඒ වලට වැද ඒ ඒ තැන්හි ඇවිදුනේ ක්‍ෂුධාව ඉවසා ගත නොහී දුටු යම් ම ගසෙක පොතු ය, මුල් ය, මල් ය, කොළ ය, ඵල ය යනාදීන් අනුභව කෙළේ ය. එ කල ඒ ඖෂධ බලයෙන් කුෂ්ඨ රෝගය සන්හිඳී රජුගේ සර්වාඞ්ගය ම රන් කඳක් සේ විය.[52]

ඉක්බිත්තෙන් ඒ රජ වාසයට සුදුසු තැනක් බලනුයේ එක් තෙනෙක මහ සිදුරු ඇති කොළොම් ගසක් දැක මෙහි යට වෙසෙන්නන්ට වගුන්ගෙන් භය නැතයි සිතා ඉනක් ලාගෙන ගස උඩට සොළොස් රියනක් නැගී කවුළුදොරක් කපාගෙන එ තැන උඩ මැස්සක් බැඳ ගිනි කබලක් තබාගෙන ඒ ගස්බිලයේ වාසය කොට නො එක් සතුන් කෑ තැනින් මස් ගෙනවුත් පලහා කා ජීවත් ව රාත්‍රියෙහි සිංහ ව්‍යාඝ්‍රාදීන්ගේ නාද ද, සෙසු සතුන්ගේ රැව් පිළිරැවු ද අස අසා වාසය කෙරෙයි. එ කල එක් දවසක්[53]පාන්දර ව්‍යාඝ්‍රයෙක් ගොදුරු සොයා ඇවිදුනේ එ බිසොවුන් වසන වළ මුදුනට පැමිණ මනුෂ්‍යගන්‍ධයෙකැයි ආඝ්‍රාණය කොට දෙ පයින් පස් පීරා පුවරු ඔසවා ඒ බිසොවුන් දැක භයඞ්කාර කොට නාද කෙළේ ය. එ සඳ බිසොවු උඩ බලා ව්‍යාඝ්‍රයා දැක භයින් වෙවුලා බැගෑපත් ව මහත් කොට හඬක් ගැසුව. මනුෂ්‍ය ශබ්දයෙහි, සියලු සතුන් ම භය ගන්නා හෙයින් ව්‍යාඝ්‍රයා බා දිව පීය. ඉරු නැගිකල ඒ රාම රජ්ජුරුවෝ සිතන්නාහු “අසුවල් දිග ව්‍යාඝ්‍රෙයක් හැඬීය. ස්ත්‍රියකත් හැඬූ හඬෙක. කාරණ කිම්දෝ හො”යි ගසින් බැස ගොසින් බලන්නාහු ව්‍යාඝ්‍රයා ඔසවාපු පෝරු දැක වළයට බලා බිසොවුන් දැක තෙපි කවුරුදැයි විචාළේ ය. බිසොවු මම ගැහැණියෙකිමි යි කීහ. තෙපි ගැහැණියක් වූ නම් මම පිරිමියෙක්මි ගොඩ නැගෙවයි කීහ. එ බසට බිසොවු “ඔක්කාක රජ්ජුරුවන්ගේ මහලු දූ වූ ප්‍රියාවෝ නම් මම ය. ජීවිතයට හානි වේ නමුත් රාජ වංශයට කිලුටක් නො කෙරෙමි”යි කිවු ය.

එ බසට රජ කියනුයේ “බරණැස රාම රජ නම් මම ය. වැසිදිය හා ගංදිය හා සමවූවා වැන්න. වහා ගොඩනැඟෙව”යි කී ය. බිසොවු කියන්නාහු “ස්වාමිනි! මිනිසුන් බැලිය නො හැක්කා වූ ශ්වේතකුෂ්ඨ රෝගයෙක් මාගේ සර්වාඞ්ගයෙහි ඇත. එසේ හෙයින් ගොඩ නොනැඟෙමි”යි කීහ. එ බසට රජ කියනුයේ “මම ද එ බඳු වූ පාප රෝගයක් ඇති ව රජය හැර වල ඇවිද ඖෂධ බලයෙන් දැන් සන්හිඳුවා ගතිමි. එම බෙහෙදින් තොපගේ රෝගයත් කලකින් යපාපියමි. වහා ගොඩ නැගෙව යි කියා හිණක් බැඳ වළට බා බිසොවුන් ගොඩනගාගෙන තමන්ගේ වාසස්ථානයෙහි ම ගෙන ගොස් ලාලා තමන් ඇඟට කළ බෙහෙත් බිසොවුන්ට කොට කීප දවසකින් කුෂ්ඨ රෝගය සන්සිඳුවා පී ය. බිසොවුන්ගේ ද සියළඟ කිණිහිරි මල් පෙත්තක් සේ ඉතා රන්වන් වී ය. එ කල දෙදෙන ප්‍රියවාසයෙන් ලෝකාස්වාදය කළාහු ය. ප්‍රථම වාසයෙහි ම දරුගබක් පිළිසිඳ දසමසක් ගිය කල රන්රූ දෙකක් සේ පුත්රූ දෙකක් එකවිට ම වැදූහ. මෙසේ ම හවුරුදු පතා සම වූ පුතුන් දෙදෙනා බැගින් සොළොස් හවුරුද්දක් ඇතුළත පුතුන් දෙතිසක් වැදූහ. එකල රාමරජ්ජුරුවෝ දරුවන් වඩා නො එක් ශිල්ප ඉගැන්වූහ.

මෙසේ වසන කල ඒ රාමරජ්ජුරුවන්ගේ බරණැස වසන දනවුවැසි පුරුෂයෙක් දඩසොයා වෙනෙහි ඇවිදුනේ රජහු දැක ඇඳින වැඳ සිට “ස්වාමීනි! මා හඳුනා දැ”යි විචාළේ ය. රජහු “තා මම නො හඳුනෙමි”යි කී කල “නුඹගේ රාජ්‍යෙයහි අසුවල් ගම අසුවලා නම් මම යැ”යි කීය. එ කල පුතනුවන්ගේ පවත් හා තමන්ගේ රාජ්‍යයෙහි ප්‍රවෘත්ති ඒ පුරුෂයා අතින් විචාරමින් සිටිය දී පුත්තු දෙතිස ම අවුත් පියරජහු පිරිවරා සිටගත්හ. ඒ පුරුෂයා විස්මය පත්ව රජකුමරුවන් බලා “මූ කාගේ දරුවෝ දැ”යි විචාළේය. රාම රජ්ජුරුවෝ මදරුවෝ යැයි කීහ. මෙතෙක් දරුසිරි ඇති ව හිමි නුඹ වල වසනු නො යෙදෙයි, රජයට වැඩිය මැනවැ යි කී ය. එබස් අසා “රජු රජය මට නො කැමැත්තේ යැ”යි කී කල ඒ පුරුෂයා එ කෙණෙහි අවසර ඉල්වාගෙන බරණැස් නුවරට දිව පියරජු දුටු පවත් පුත් රජහට කී ය. පුත් රජ එ පවත් අසා සිවුරගසෙන් ගෙන පිය රජහු වසන මහ වනයට වැද පියාණන් දැක වැඳ රජයට මා හා කැටිව වැඩිය මැනවැ යි ආරාධනා කොට පියරජහු නො ගිවිස්නෙන් තමාගේ යෝධයන් ලවා ඒ මහවනය මුල්සිඳුවා නුවරක් කරවා පවුරු ආදීන් සුරක්‍ෂිත කොට පියරජහු විස කොළොම් ගස මුලින් උදුරවා එ බිම මහ පායක් කරවා වැවු අමුණු බඳවා, සරක් බත් බිජුවට සී වැස්සන් ලවා, අපමණ රුවන්දී, පියරජහු ඒ නුවර පිහිටුවා, තැන තැන නුවර වටා රකවල් ලවා, බරණැස් නුවර ම ගියේ ය.

නුවර, කොළොම් වෘක්‍ෂය පිහිටි තැන කළ හෙයින් කෝළිය නුවර නම් විය. ව්‍යාඝ්‍රයා විසින් දක්නා ලද බිසොවුන්ගේ පරම්පරාගත නුවර හෙයින් ද ව්‍යාඝ්‍රපථයෙහි ජාත හෙයින් ද, ව්‍යාඝ්‍රපුර ය යි කියාත් කියනු ලැබෙයි. දෙවුදෑ නුවර නමුත් විය. කොළොම් ගසදී උපන් රජදරුවන්ගේ වංශය හෙයින් ඒ රාජවංශය [54]කෝළිය වංශ නම් විය.

මෙසේ එ නුවර වසන කල ඒ ප්‍රියා නම් බිසොවු පුතුන් දෙතිස් බෑයන් කැඳවා; “දරුවෙනි! කපිලපුරයෙහි රජකරන සිවුබෑ රජහු මාගේ මල්බෑයෝ ය. ඒ කාරණයෙන් තොප මයිලෝ ය. උන් සතරදෙනාගේ දූ දෙතිස් දෙනෙක් ඇත. ඌ තොපගේ බැදැවුය. තෙපි හැම සුරු වූ නම් තොප බැදැවුන් රක්‍ෂාකරවයි කිවුය. රජකුමරුවෝ මෑණියන් කී බස් අසා මයිලන් කරා පඬුරු දී අපට සරණක් එවන්නේ යැයි වෙන වෙනම දූතයන් යවති. මයිලෝ එබස් අසා “ඒ කොල්ලන්ගේ පියවංශය අනිකෙක, උපන්නේ කොළොම්ගස් බිලයෙක දී ය. කුමන නෑකම් ද උන්ලා”යයි කුලඝට්ටනයෙන් බැණ දූන් පාවා නොදෙති. රජකුමරුවෝ බැදැවුන්ට සොර පත් යවා සොර පඬුරු දෙවා පෙම් වඩාගෙන අසුවල්දා අසුවල් වේලෙහි අසුවල් තෙන අසුවල් ගංතොටට ගොස් සිටිමි යි, එ තැනට එන්නේ ය යි අවධි කොට [55]යවාලති. රජකුමරියෝ එ දවස් ගඟදිය කෙළියට යම්හයි පිය රජුන්ට කියා අවසර ගෙන තමන් තමන් පිරිවර ගෙන හස්තසාර වූ රුවන් හා පළඳනා ගෙන ගංතොටට යෙති. රජකුමරුවෝ පෙර මන්ත්‍රණය කළ කළ බැදැවුන් අත් අල්වාගෙන “මම ය බරණැස් රජුට දා කොළොම් සිදුරෙන් උපන් කෝළියා” යයි වෙන වෙන තමන් තමන් නම් හඬ ගා කියා “දිවි කැමැති කෙනකුන් අප අඹා නො එන්නේ ය”යි වාසි කියා කෝළිය නුවර යෙති.

මයිල් රජහු එ පවත් අසා සිනා පහළකොට “අප බෑනෝ සූරය. නිර්භීත යහ. තමන් බැදැවුන් තුමූ ම හැරගෙන ගියහ. ඉන් අපට ජාති සම්භේදයෙක් නැතැ”යි සතුටුව පසුපස්සෙහි පිරිස් නො යවා දායාද සම්පත් දී යවති. මෙසේ දෙතිස් බෑයෝ දෙතිස් බැදෑකුමරියන් බලයෙන් ගෙන ගොස් රක්‍ෂා කළහ. එ තැන් පටන් කපිලවස්තු පුරය හා කෝළිය නුවර හා දෙනුවර රජදරුවන්ගේ ආවාහ විවාහ සම්බන්ධය නො නැසී පැවැත්ත.

මෙසේ දෙතිස් බෑයෝ දෙතිස් පායක් නංවා, දෙතිස් පවුරු, දෙතිස් දොරටු දෙතිස් උයන්, දෙතිස් පොකුණු නිමවා කෝළිය නුවර සමෘද්ධ කොට වාසය කරන්නාහු එකී එකී දෙන දෙතිස් දෙතිස් ම දරුවන් වැදූහ. එතැන් පටන් කෝළිය වංශයෙහි නො එක් දහස් ගණන් රාජපරම්පරා ගිය කල කෙළවර බුදුකෙනෙකුන්ට මුතුන් වන පින් ඇති දෙවුදහ රජහු පිත් අනුශාක්‍ය නම් නරේන්ද්‍රෙයක් විය. සිංහ හනු රජහු නං මහා යසෝධරා දේවී ඒ අනුශාක්‍ය රජහට අගමෙහෙසින් ව සුප්‍රබුද්ධ ය, දණ්ඩපාණී ය යි යන රජකුමරුවන් දෙදෙනා හා මහාමායා දේවිය, මහා ප්‍රජාපතී යයි යන දූන් දෙදෙනා හා දරුවන් සතරදෙනකු වැදුව. ඔවුන් අතුරෙන් මහාමායා ප්‍රජාපතී නම් ඒ දූ දෙදෙන ම දෙවඟනන් බඳු වූ රූ ඇතියහ. උපන් හිමින් රා බොන්නවුනුත් නො දකිති. කෙළි පිණිසත් බොරු නො කියති. අනුන් සතු වස්තුවක් ලෝභයෙන් නො බලති. ලේඬිත්තකගෙත් ප්‍රාණයෙක් නො නසති. අපට තරම් ස්වාමි පුරුෂයකු දක්නා තුරු පර පුරුෂයකු නො දකුම්හ යි කියති. එ කල නකත් දන්නා බමුණෝ මේ කුමරියන් දෙදෙනාගේ උතුම් වූ ස්ත්‍රී ලක්‍ෂණ දැක “මේ කුමරියෝ දෙදෙන මතු පුතුන් දෙදෙනකු ලබති. එකෙක් චක්‍රවර්ති රජ වෙයි. එකෙක් බුදු වෙයි” කීහ.

එ බස් අසා දඹදිව තෙ සැට දහසක් රාජධානියෙහි රජුන්ගෙන් වෙන වෙන එවන රුවනින් අතුරු නො වී ය. ශුද්ධෝදන රජ්ජුරුවෝ එ පවත් අසා “බැදෑ රජ දූන් දෙදෙනා ම අනික් රජක් හට නො හරිමි”යි මඟුල් කොට දෙ බිහින්නන් ගෙන ගොස් අගමෙහෙසින් කළහ. එ කල මහාමායා නම් ඒ බිසොවු අඛණ්ඩ කොට පඤ්චශීලය රක්‍ෂා කෙරෙති. රජහට පතිව්‍රතා ධර්මය රක්‍ෂා කෙරෙති. උතුම් වූ ආචාර ගුණයෙන් යුක්තයහ. පෙර මහා විපස්සී නම් බුදුන් සමයෙහි අනර්ඝ වූ රත් සඳුණක් සුනු කොට බුදුන්ට පුදා “මම ද නුඹ සේ ම බුදුකෙනකුන්ට මවු වෙම්ව”යි කරන ලද ප්‍රාර්ථනා ඇත්තීය.

එ කල මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයන් වහන්සේ ඒ තුෂිත පුරයෙහිදී දස දහසක් සක්වළ දෙවියන් කළ ආරාධනායෙන් සිටිය දී ම මිනිස්ලොව බලා මේ මහා මායාදේවී නම් වූ ශුද්ධෝදන රජ්ජුරුවන් අගමෙහෙසින් කළා වූ උත්තමාඞ්ගනාවන් දැක “ඕ මට මවු වන්ට පින් ඇත්තී ය. ඇගේ පාරිශුද්ධ වූ කුසයෙහි ප්‍රතිසන්‍ධිය කෙරෙමි”යි බලා සනිටුහන් කළ සේක.

තව ද බුදුන් උපන් කුස නම් ධාතුකරඬුවක් සෙයින් අනික් සත්ත්‍ව කෙනෙකුන්ට වාසස්ථාන නො වෙයි. මළමුත්‍රයන් අටගත නො හැක්ක. කෙලෙස් මළ ද නූපදනේ ය. බුදුන් මවුකුස පිළිසිඳි දා පටන් ඒ ආත්මභාවයෙහි මෑණියන්ගේ මෛථූන සංවාසයක් නො ම ඇත මැනව. මේ මේ කාරණයෙන් බුදුකෙනෙකුන් වැදූ මෑණිකෙනෙකුන් ඔබ උපන් සත් දවසින් මිය දෙවුලොව ගිය මැනව. එසේ හෙයින් ඒ මහාමායා දේවීන්ගේ ආයු කෙතෙක් කල් දෝ හෝ යි පරීක්‍ෂා කොට තුන්සිය සත් දවසකට ආයු දැක මවුකුස පිළිසිඳිනා කාලය මේ යයි දුටුසේක. මේ පස් වන මාතු විලොකන නමි.

මෙසේ මාගේ බෝධිසත්ත්‍වයෝ මහ බැලුම් පසක් හා මහ ශබ්දයෙන් උපන් සූක්‍ෂ්ම බැලුම් ලක්‍ෂගණන් බලා “මිනිස්ලොව ඉපැද මා බුදුවීමට ඒකාන්ත කාලයැ”යි දැන එ තැනට රැස් ව ආරාධනා කළ දසදහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මසේනාවට “බුදුවන්ට මනුෂ්‍ය ලෝකයට යෙමි”යි ප්‍රතිඥා දී “තෙපි හැම තොප තොපගේ දෙව්ලෝ යව” යි සමුදුන් සේක.

එකල දිව්‍යබ්‍රහ්මරාජයෝ “සාධු සාධු බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මොහාන්‍ධකාරයෙන් එකාන්‍ධකාරව තුබූ නිවන් පුරයෙහි මේ වීරපුරුෂයා අගුලු නැති කෙරෙයි. දේශනා රශ්මීන් ඒකාලෝක කෙරෙයි” කියා බුදුන් බුදුවූ දා සේම බුදු වෙමි යි කීබස් අසා සතුටු වූ දස දහසක් සක්වළ මුළුල්ලෙහි දිව්‍යබ්‍රහ්මරාජයෝ දොහොත් මුදුන් දී දෙලක්‍ෂ සතළිස් දහසක් සාධුකාර පූජා කොට ගියහ.

මෙසේ බුදු නොව බුදු වෙමි යි දුන් ප්‍රතිඥාවෙන් දිව්‍යබ්‍රහ්මයන් සන්තෝෂ කරවා බොහෝ වූ සාධුකාර පූජා ලත් හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් සමන්තභද්‍ර වූ; පරදුඃඛ දුඃඛිත වූ, කරුණානිධානා වූ, ලෝක දිවාකර වූ, ත්‍රෛෙලාක්‍ය චූඩා මාණික්‍ය වූ, මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියනලදුයේ මැයි;

පූජා විසේසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලෝකනාථො,

අත්‍ථානුරූපං “අරහං”ති ලෝකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං - යි.

මේ පූජාවලියෙහි අප බුදුන් පඤ්ච මහා විලොකනාවසානයෙහි දී ලද

සාධුනාද පූජා කථා නම් වූ සත්වන පරිච්ඡේදය නිමි.

8. ප්‍රතිසන්ධි පූජා

තව ද; අප බුදුන් ලද ප්‍රතිසන්ධි පූජා නම් කවරහ? යත්;

බෝසතුන් මහාමායා දේවීන් කුස පිළිසිඳගැනීම

මෙසේ අප මහා බෝධිසත්ත්‍වයෝ ආරාධනා කළ දිව්‍යබ්‍රහ්මයන්ට අවසර දී යවා හුනස්නෙන් නැගි ඒ තුෂිත පුරයෙහි දෙවියන් පිරිවරා එ පුරයෙහි ම නඳුන් උයන් වැඩිසේක. එ කෙණෙහි සියලු දේවතාවන් චුත වන කාලයෙහි ම පෙනෙන්නා වූ පඤ්ච මහා පූර්‍වනිමිත්ත පෙනින. හේ කෙසේ ද? යත්;

ඒ බෝසතුන්ගේ සත් පනස් කෙළ සැටලක්‍ෂයක් හවුරුදු හැඳි දා හැඳිවත, නො කෙලෙසී තුබූ සළුව, එ දවස් කෙලෙසී ගියේය. එ තෙක් කල් මුළුල්ලෙහි නො මළා තුබූ පැලඳි මල් පරව ගියේ ය. හිරුරැස් කලඹක් වන් ශරීරප්‍රභා ව නිෂ්ප්‍රභ ව ගියේ ය. දිව්‍ය වූ මාලිගාවෙහි වාසයට රිසි නැති විය. තුන් ගවු උස දිව්‍ය ශරීරයෙන් පිනි ගත් රුකක් සේ ඩා සෙල් වින. තුසීපුර දෙවියෝ බෝසතුන්ගේ චුත වන මේ පඤ්ච කාරණ දැක “ඉතො චුතො සුගතිං ගච්ඡ මාරිස, ඉතො චුතො සුගතිං ගච්ඡ මාරිස” යනාදීන් පිරිවරා සිට මගුල් තෙපුල් කීහ. එකෙණෙහි බෝසතාණෝ ද පවනින් පැහැර නිවූ පානක් සේ ඒ තුසීපුරයෙන් අන්තර්ධාන ව එදා ඇසළ මස මැදිපොහෝ ලද උතුරුසළ නකතින් අලුයම් රාත්‍රියෙහි ඒ මහාමායා දේවීන් කුස පිළිසිඳ වදාළ සේක. එහි විස්තර මෙසේ දතයුතු.

ඒ කපිලවස්තු නම් නුවර ඇසළකෙළි නම් වූ මහත් වූ උත්සව කෙළියෙක් පළමු සත්වෙනිදා පවත්වීය. සියලු ජනයෝ ඉස් සෝධා නහමින් සුවඳමල් පළඳිමින් සුවඳ ඇඟ ගල්වමින් කෑමෙන් පීමෙන් නැටීමෙන් ගී කීමෙන් කෙළියෙන් සිනායෙන් දවස් යවා ශක්‍රපුරය සේ එ නුවර සරහමින් සත් දවසක් උත්සව කෙළි කෙළිති. එ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ සොළොස් කළයක් සුවඳ පැනින් නහා ලක්‍ෂයක් අගනා සළුවක් හැඳ සූසැටක් ආභරණයෙන් සැරහී ශක්‍රදේවේන්‍ද්‍ර ලීලායෙන් සිංහාසන නැඟි හිඳ ඇමැති ගනයා පිරිවරා සැණකෙළි සිරි විඳිති.

එ කල මහාමායා දේවී දිව්‍ය ස්ත්‍රියක සේ සැරහී පන්සියයක් ස්ත්‍රීන් පිරිවරා මඟුල් පොකුණු වැද ජලක්‍රීඩා කොට නඳුන් පොකුණු වන් නන්‍දාඞ්ගනාවක සේ ක්‍රීඩා කොට ලක්‍ෂයක් අගනා කසී සළුවක් හැඳ සුපිපි සපුමල් රුකක් සේ රන් පළඳනාවෙන් සැරහී රජගෙට ගොස් රන්වන් පායෙහි මතුමාලට නැගී තමන්ගේ ශ්‍රීයහන් ගබඩායෙහි සරහා මල්පිරූ යානක් මතුයෙහි එදා රෑ නිද්‍රාවට පටන් ගත්හ.

මහාමායා දේවිය දුටු සිහින

එ දවස් රෑ මාගේ බුදුන්ගේ ප්‍රතිසන්‍ධි වේලායෙහි මහාමායා දේවි මෙ බඳු ස්වප්නයක් දුටහ. එ කල වරම් රජදරුවෝ සතර දෙන තුන්ගවු උස දිව්‍යශරීරයෙන් රන් ශෝභා විහිදුව විහිදුවා දේවීන් ඔත් යහන් ගබඩාවට වැද සපුමල්දමක් සේ දේවීන් වඩාගෙන පන්සියයක් යොදුන් හිමාලය පර්වතය මුදුනෙහි පසේ බුදුන් සිවුරු වළඳනා සැටයොදුන් සිරියෙල් ගල්තලාවෙිහ කෙළවර පිහිටි සත්යොදුන් සල්රුක මුල යොදනක් උස මල් ගොඩ පිට වඩා ලූ නම. එ සඳ වරම්රජුන්ගේ අඹුවෝ සතරදෙන සපිරිවරින් අවුත් බිසොවුන් ඔසවාගෙන පනස් යොදුන් අනවතප්තවිල දෙව්දූන් දිය කෙළිනා පැන්තොට දී මිනිස්ගඳ හැර දේවීන් නාවා දිවසළු හඳවා දිවපළඳනාවෙන් සරහා දෙසියයක් ගවු උස රිදීමය වූ කෛලාසකූට පර්වත මුදුනෙහි පිහිටි රන්පායට ගෙන ගොස් දිවයානක් පනවා පශ්චිම දිග්භාගයට සිරස ලා දක්‍ෂිණ දිග්භාගයෙන් ජම්බුද්වීපයට ඇතුළත් කොට සතපා දේවීන් පිරිවරා සිටියෝ නම.

ඒ පර්වතයට නුදුරු තෙන ඝන රන්මය වූ දෙසියයක් ගවු උස චිත්‍රකූට පර්වතය මුදුනෙහි සිට ඇළි ඇත්පැටවෙක් රිදී දමක් වන් සොඬින් සුදු පියුමක් ගෙන ඒ පර්වතයෙන් බැස බිසොවුන් බල බලා ඔත්දී ම ඒ රිදී පර්වතයට නැගී රන් පායට වැද බිසොවුන් සැතපුනු දිව යහන වඩා තුන් යළක් ඇවිද දක්‍ෂිණභාගයෙන් බිසොවුන් කුසට වැද ගියේ නම.

එ කෙණෙහි බිසොවු පිබිද නැගී යාන පිට උන්හ. දේවීන් බඩ වීදුරු පුරා ලූ භාජනයක් සේ බර විය. බිසොවු නො නිදාම පාන් වූ කල ගොස් රජහට දැන්වූහ. රජ වේදයෙහි නිපුණ බ්‍රාහ්මණයන් සූසැටදෙනකු ගෙන්වා චතුමධුරයෙන් පැන් නො වකා පිසූ කිරිබත් ලක්‍ෂ වටිනා රන්තලි සූසැටක් පුරා ලක්‍ෂ වටිනා රන්තලි සූසැටකින් වසා ඒ බමුණන් පෙරට තබා කිරිබත් කවා රන්තලි සමගින් බමුණන්ට දන් දී අත් සෝදවා කපුරුය, තකුල්ය, නාරඟය, ලමඟය, හිඟුරුය යන මේ පස් පලවතින් බුලත් දී බමුණන් සතුටු කරවා බිසොවුන් දුටු ස්වප්නය කියා විචාළහ.

දෙතිස් නිමිති

ඒ බමුණෝ ස්වප්නය පරීක්‍ෂා කොට කියන්නාහු “දේවයෙනි! දේවීන් දුටුයේ දරු සීනයෙක. සුදු ඇත්පැටවෙක් නම් බුදු වන පුත් පැටවෙකැ”යි යන අර්ථය. ශුද්ධ පද්මයෙක් නම් බුද්ධ පද්මයෙකැ යි යන අර්ථ ය. එසේ හෙයින් ප්‍රඥා නමැති හස්තයෙන් වෛනෙය ජන නමැති පද්මයන් ධරා දේශනා නමැති රශ්මීන් ප්‍රබුද්ධ කරන්නා වූ බුද්ධපුත්‍රෙයක් ම ය. මේ කාරණයෙන් දේවීන් කුස, හිමි! නුඹට බුදු හෝ වන චක්‍රවර්ති හෝ වන පුතෙක් උපන. ඒකාන්තයෙන් ඒ ද්විපදයන්ට උත්තම තුන්ලෝ වැසියන් විසින් පූජා ලැබෙන පුතෙක් ම ය. දරුගබ් මගුල් කරව”යි බමුණෝ රජු සන්තෝෂ කරවා සමුගෙන ගියහ. මෙසේ මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයන් මවුකුස පිළිසිඳගත් ඇසිල්ලෙහි ම පාරමිතා බෙලෙන් ජනිත වූ උන්වහන්සේගේ ම පුණ්‍යප්‍රභාවයෙන් ලොවට අද්භූත වූ ආශ්චර්‍ය්‍ය පූජා දෙතිසෙක් පහළ වී ය. ඒ දෙතිස් පූජා නම් කවරහ? යත්;

එදා මහී නමැති කාන්තාව දීපඞ්කර පාදමූලයෙහි පටන් තමා බඳු වූ අචල ගුණයන් සාරාසංඛ්‍යය කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි පුරා ආ හෙයින් “මා සේ ම අචල වූ ගුණ ඇති සේකැ”යි සන්තුෂ්ටව දසදහසක් සක්වළ දසදහසක් මහ පොළෝ නමැති භෙරීන් නාද පවත්වා මහීගර්ජනා නම් වූ පළමුවන ප්‍රතිසංධි පූජාව කළ දෑ ය. තව ද සුවහස් පහන් දැල් වූ එක මඟුල් ගෙයක් සේ දසදහසක් සක්වළ මුළුල්ලෙහි පැවැත්තා වූ මහත් වූ ආලෝකය මාගේ බුදුන් ලද දෙවන ප්‍රතිසන්ධි පූජා නම. තව ද ජාතියෙන් අන්‍ධ වූ මිනිසුන් උපන් තැන් පටන් නුදුටු විරූ දෑ අනේකප්‍රකාර වර්ණ දැක මේ කෙසේ වූ ආශ්චර්‍ය්‍යෙයක් දැයි අහෝ සාධු අහෝ සාධු” යි කිය කියා ලෝකාලෝක දැක කළා වූ සන්තෝෂය මාගේ බුදුන් ලද තුන්වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද දස දහසක් සක්වළ මුළුල්ලෙහි උපන්නා වූ ජාති ගොළුවන් කුරවීක නාද පරදවා එ කෙණෙහි ලීලොපෙත කොට ගී කීම මාගේ බුදුන් ලද සතරවන ප්‍රතිසන්ධි පූජා නම.

තව ද උපන් තැන් පටන් ජාතියෙන් බිහිරන් බෙර හඬ සක් හඬ පමණකුත් නො අසා එ කෙණෙහි ගොළුවන් කියන ගීතිකා ශබ්දයෙන් පිබිද ඒ ගායනා අස අසා සාධුකාර දීම මාගේ බුදුන් ලද පස්වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද උපන් දා පටන් පයින් නොගිය විරූ වනුගා නිගා විඳ ඇවිදුනා පිළුන් දෙපය සොල්වා යොදුන් ගණන් දිවපියා නළුවන් සේ නට නටා අත්පොළසන් දි දී අහෝ සාධු, අහෝ සාධු, යි හඬගානා ශබ්ද ඝෝෂාව මාගේ බුදුන් ලද සවන ප්‍රතිසන්ධි පූජා නම. තව ද කුරු කුදු ව උපන් සත්ත්‍වයන් විශේෂ වූ ගාත්‍ර ලදින් ඉතා උස්තෙන තුබූ පකාපැකින් බිඳ කකා තලු ගසා රස විඳ ඔල්වරසන් දි දී සාධුකාර දීම මාගේ බුදුන් ලද සත්වන ප්‍රතිසන්ධි පූජා නම.

තව ද ඒ ඒ තන්හි බන්‍ධනාගාරයන්හි වසන හස්ති අශ්ව මයුර ශාරිකාදීන් හා අන්‍දුඝරාදියෙහි [56]හැකිළි බඳ සත්ත්‍වයන් තමන් තමන්ගේ බැඳුම් සිඳී ස්වකීය වූ ස්ථානයට පැමිණ සන්තෝෂයෙන් කරන්නා වූ රැවු පිළිරැවු දහස් ගණන් මාගේ බුදුන් ලද අටවන ප්‍රතිසන්ධි පූජා නමි. තව ද දස දහසක් සක්වළ තෙළෙස් ලක්‍ෂ සැටදහසක් නරකවල ගිනි නිවී හිමපිඬක් සේ සිහිල් ව කපක් මුළුල්ලෙහි ගින්නෙන් දන නිරිසතුන්ගේ ගිනිගත් ශරීර දියකඳු සේ සිහිල් ව ගිය වේලෙහි ඔවුනොවුන් දැක මේ කෙසේ වූ විස්මයෙක් ද? කොල, මේ නරක දුකින් අද මිදී ගියම්හ යි කිය කියා දසදහසක් සක්වළ මුළුල්ලෙහි නරකවල සත්ත්‍වයන් කීවා වූ සාධුකාර ශබ්ද ඝෝෂාව මාගේ බුදුන් ලද නව වන ප්‍රතිසන්ධි පූජා නම.

තව ද: කපක් මුළුල්ලෙහි බත් නො ලද්දා වූ ප්‍රේතයන්ගේ සා පිපාසා නිවී බත් ලදින් පැන් ලදින් ‘අහෝ සුඛං අහෝ සුඛං’ කීවා වූ ශබ්ද ඝෝෂාව මාගේ බුදුන් ලද දස වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද උපන් තැන් පටන් මරණයෙහි භයින් ඇවිදුනා වූ තිරිසන් අපායෙහි සත්ත්‍වයන් ඔවුනොවුන් කෙරෙහි භය නැති ව සිත් සේ ඇවිදීම මාගේ බුදුන් ලද එකොළොස්වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද දසදහසක් සක්වළ සියලු සතුන්ගේ උපන්දා උපන් අසාධ්‍ය වූ රෝග සන්හිඳී ‘අහෝ සුඛං අහෝ සුඛං’ යන සන්තෝෂ වචනයන් කීම මාගේ බුදුන් ලද දොළොස් වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද සියලු සත්ත්‍වයන් ම ඔවුනොවුන්ට අප්‍රිය වචනයක් නොකියා ප්‍රිය වචන ම කීම මාගේ බුදුන් ලද තෙළෙස් වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද එදා අශ්වරාජයන් එ කෙණෙහි ම මධුර නාදයෙන් හේෂාරව කිරීම මාගේ බුදුන් ලද තුදුස් වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද එදා දස කුලෙහි ඇතුන් සන්තෝෂයෙන් කුඤ්චනාද කිරීම මාගේ බුදුන් ලද පසළොස් වන ප්‍රතිසන්ධි පූජා නම.

තව ද එදා සිංහරාජයන් නොඑක් ගල් මුදුනට නැගී “සත්ත්‍වයෙනි! බුදුහු මවුකුස පිළිසිඳි සේකැ”යි ලොවට හඬ ගාන්නා සේ කරන ලද මහත් වූ සිංහගර්ජනාව මාගේ බුදුන් ලද සොළොස්වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද එදා මහිෂ ගවර සෙමරාදි සියලු සිවුපාවන් තමන් තමන්ගේ නාදයෙන් ඝෝෂා කිරීම මාගේ බුදුන් ලද සතළොස් වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද එදා දසදහසක් සක්වළ දෙව්මිනිසුන් පළඳනාලද කනක කටකාදි ආභරණයන් සැලී ප්‍රාණ ඇතියන් සේ රවන ය කිරීම මාගේ බුදුන් ලද අටළොස් වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද එදා දශවිධධ වූ දිගන්තරයෙහි ප්‍රභාස්කන්‍ධයන් විහිද බුදු රස්කඳු සේ දිවීම මාගේ බුදුන් ලද එකුන් විසිවන ප්‍රතිසන්ධි පූජා නම.

තව ද එදා වාතවලාහක දිව්‍යපුත්‍රයන් සැඬ පවන් දුරුකොට වන සුවඳින් යෙදුනා වූ මඳ මඳ පවන් පැවැත්වීම මාගේ බුදුන් ලද විසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද එදා වස්ස වලාහක දිව්‍යපුත්‍රයන් අකාල මේඝ නඟා දසදහසක් සක්වළ එ කෙණෙහි වැසි වස්වා පීම මාගේ බුදුන් ලද එක්විසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද මහපොළොව පලා නාඹ තල්කඳ සා ජලධාරාවන් රිදී කඳන් සේ නැඟී ඒ ඒ දිග්හි දිවීම මාගේ බුදුන් ලද දෙවිසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද එදා සියලු පක්‍ෂීන් ම එ වේලෙහි ආකාශයෙන් නො ගොස් තුරු අග නො හිඳ මිහිමඬලට බැස තමන් තමන්ගේ ධ්වනියෙන් මධුරනාද කිරීම මාගේ බුදුන් ලද තෙවිසි වන ප්‍රතිසන්‍ධි පූජා නම.

තව ද එදා දසදහසක් සක්වළ නේ සුවහස් ගඞ්ගාවන් යටිගං බලා යන ගමන් හැර බුදුහු උපන් හ යි සතුටු ව බලා සිටිනා සේ නො ගොසින් රඳාපීම මාගේ බුදුන් ලද සූවිසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද එදා දසදහසක් සක්වළ මුළුල්ලෙහි සතළිස් දහසක් සමුද්‍රයන්ගේ මහ රළ සන්හිඳී ලුණුදිය අන්තර්ධාන ව මධුර ජලයෙන් පිරී ප්‍රසන්න ව නිවී සැනහී තිබීම මාගේ බුදුන් ලද පස්විසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද එදා සතළිස් දහසක් සාගරයෙහි පස් පියුම් පිපී විසිතුරු මලසුන් සේ වීම මාගේ බුදුන් ලද සවිසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද එදා දියෙහි ගොඩෙහි පිපෙන හැම මල් සමූහයන් එ කෙණෙහි ප්‍රබුද්ධ ව දසදිග සුවඳ පතුරුවා රොන් සළා දීම මාගේ බුදුන් ලද සත්විසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද දසදහසක් සක්වළ මුළුල්ලෙහි ගල්වල ද මුල්වල ද මුල පටන් අග දක්වා මලින් වැසී යාම මාගේ බුදුන් ලද අටවිසි වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද දසදහසක් සක්වළ පොළෝවල ද, දසදහසක් සක්වළ පර්වත මුදුනේ ද, බිම් පලා ගල් පලා සත්බුඹු දඬු පියුම් පැන නැගී ඒ ඒ තැන සිටීම් මාගේ බුදුන් ලද විසිනව වන ප්‍රතිසන්‍ධි පූජා නම.

තව ද සියලු ආකාශ ය මුළුල්ලෙහි පියුමෙන් අතුරු නැතු ව උඩු බලා නටු තිබී යටි බලා කෙමි තිබී මල් වියනක් සේ මැවී යාම මාගේ බුදුන් ලද තිස් වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද දසදහසක් සක්වළ මුළුල්ලෙහි එ කෙණෙහි මල්වැසි වැස පියා මුළුලොව එක මලස්නක් සේ, එක මල් වටක් සේ, වීම මාගේ බුදුන් ලද එක්තිස් වන ප්‍රතිසන්‍ධි පූජා නම. තව ද එදා මතු අර්හත් ධ්වජයට පූර්ව නිමිත්ත පානා සේ එදා නැඟූ ධ්වජමාලායෙන්, බඹලෝ වසා ගැන්ම මාගේ බුදුන් ලද දෙතිස් වන ප්‍රතිසන්‍ධි පූජා නම.

මෙසේ බුදුහු තමන් බුදු වන ජාතියෙහි මවු කුස පිළිසිඳගත් කුසල් පමණකින් මෙසේ ලොවට ඉතා අද්භූත වූ, ඉතා ආශ්චර්‍ය්‍ය වූ, ඉතා විස්මය වූ, ප්‍රතිසන්‍ධි පූජාවන් දෙතිස් දෙනකු එක විගස ම ලත් හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, ශාක්‍යකුල සිංහ වූ, ශාක්‍යකුල නායක වූ, ශාක්‍යකුල කෙතු වූ, ශාක්‍යකුල ප්‍රසාදනීය වූ, ශාක්‍යකුල ලෝචන වූ, ශාක්‍යකුල චින්තාමාණික්‍ය වූ, ශාක්‍යකුල භද්‍රඝට වූ, ශාක්‍යකුල කල්පද්‍රැම වූ, ශාක්‍යකුල තිලක වූ, ශාක්‍යකුල ප්‍රදීප වූ, මාගේ ස්වාමිදරු වූ, බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:-

පූජාවිසේසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලෝකනාථො,

අත්‍ථානුරූපං “අරහං“ ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං - යි.

මේ පූජාවලියෙහි අප බුදුන් පශ්චිමාත්මභාවයෙහි ලද

ප්‍රතිසන්‍ධි පූජා කථා නම් වූ අට වන පරිච්ඡේදය නිමි.

9. ප්‍රසව මඞ්ගල පූජා

තව ද: අප බුදුන් ලුම්බිනී වනෝද්‍යානයෙහි දී ලද ප්‍රසව මඞ්ගල පූජා නම් කවර? යත්;

බෝසතුන් පිළිසිඳ ගැනිම

මෙසේ මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයන් තුසීපුරෙන් වැඩ මවුකුස පිළිසිඳගත් වේලෙහි ම මෑණියන් වහන්සේට ද දරුගබටද උපද්‍රව වළකනු සඳහා වරම් රජදරුවෝ සතරදෙන මඟුල් කඩු ගත් අත් ඇති ව ශ්‍රීයහන් ගබඩාවට සතර දිග රකවල් ගත්හ. ඔහු සතරදෙන මතු නො වෙති. තව ද දසදහසක් සක්වළ ම සතළිස් දහසක් වරම් රජහුම ඒ ශ්‍රීයහන් ගබ්දොරය, රන්පාය සිසාරාය, නුවර සිසාරාය, දඹදිව සිසාරාය, සක්වළගබ සිසාරාය යි බෝසතුන්ට අරග්ගෙන සිටියාහු ම ය. එ තැන් පටන් ගෙන බෝසතාණන් වහන්සේට ද මෑණියන් වහන්සේටද පෙර ගිලනුන්ට කළා වූ ඖෂධ සත්කාර බලයෙන් ජාත වූ කුශලානුභාවයෙන් ද, ඒ දෙවියන්ගේ ආනුභාවයෙන් ද, රෝගාදීන් කිසි පීඩාවෙක් නොවී ය. දඹදිව සියලු රජුන්ගෙන් එවන අපමණ වූ රුවනින් අතුරු නො වීය.

මෑණියන් වහන්සේගේ නාභිමණ්ඩලයට මුහුණ ලා පලක් බැඳ ධර්මාසනයක උන් ධර්‍මකථිකයෙකු සේ, මිණිකරඬුයෙක විඩාලූ කනක රූපයක් සේ, බලන්නවුන්ට පෙනි පෙනී වැඩ හිඳිනා සේක. අදට මේ තෙක් තැන් වැඩිසේක. අදට මෙ තෙක් මහත් වූ සේකැ යි ප්‍රේමයෙන් බල බලා හිඳිනා ඒ මෑණියන් වහන්සේ “මදරුවෝ කුස වසන්නාහු මෙසේ ප්‍රීති වඩති. කුසින් බිහි වූ කල කෙසේ රූපශ්‍රී ඇතියෝ දෝ හෝ“ ප්‍රීතින් පින පිනා පිරුණු තෙල් පාත්‍රයක් ධරන්නා සේ ගබඩ කිසි පීඩාවක් නොකොට ඉතා උෂ්ණ භෝජන ය, ඉතා ශීත භෝජනය, තික්ත භෝජනය, කටුක භෝජනය යනාදියෙහි රස නො දැන දස මස මුළුල්ලෙහි ම පුතනුවන්ට ගැහැටුම් වෙති යි කුස පුරා බත් නොකා, මුහුණින් ම වැද නො හෙව, වම් ඇලයෙන් නො සැතපී දක්‍ෂිණභාගයෙන් ම සැතපී, දරුහබ සැලී නැගෙතියි සක්මන් මාත්‍රාවකුත් නො කොට දස මස මුළුල්ලෙහි ඉතා අප්‍රමාද ව ගබ පිරිමැසූහ.

මවුපියන් දක්නා අදහස

තවද ඒ මාගේ [57]බෝධිසත්ත්‍වයන් වහන්සේ මතු සියලු සතුන්ගේ රා කෙලෙසුන් දුරුකිරීමට දෙස් පානා සේ මවුකුසට වැඩිදා පටන් මෑණියන් වහන්සේගේ පුරුෂයන් කෙරෙහි රාග චේතනාවෙක් ම එතුන්සිය දා ම නො හටගත. මෙසේ මාගේ බෝසතාණෝ දසමසක් මවුකුස වැස සියලු බුදුන්ගේ ම උත්පත්ති කාලය වූ වෙසඟ මැදි පොහෝ දා සඳු විශාඛා නම් යෝගයෙහි සිටිය දී මෑණියන් වහන්සේට [58]දෙව්දැ නම් වූ කෝළිය නුවර ගොස් මවුපියන් දක්නා දොළෙක් වි ය. එ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ ඒ දොළ අසා කිඹුල්වත් නුවර පටන් දෙවුදැහැ නුවර දක්වා මග සම කරවා කෙසෙල් තොරණ බඳවා දෙපස පුන්කලස හා විසිතුරු වූ ධ්වජ බඳවා පිළි තොරණින් සරා විලඳ සුන්සාල් අබ සමන්කැකුළු හීතණ යන ලද පස්මල් විසුරුවා මඟ සදා දේවීන් රන්සිවිගෙයක නංවා මඟුල්වෙස් ගත් දහසක් ඇමැතියන් ලවා ඒ සිවිගෙය ගන්වා සිවුරඟයෙන් සමග රජපෙළහරින් මහත් වූ ආරක්‍ෂා දී යවූහ.

මෙසේ වූ මහා මඞ්ගලයෙන් මහා ශ්‍රී සෞභාග්‍යෙයන් මහ පෙළහරින් මහා උත්සවයෙන් යන්නා වූ ඒ මායා දේවීන් නම් වූ ඒ බුද්ධ මාතාවෝ සොළොස් කළයක් සුවඳ පැනින් නහා ලක්‍ෂයක් වටනා සළුවක් හැඳ, පාද පාදාංගුලි පාදකටක පස්රූ පස් පෙරහර එක්වැටී පාමුදු රන්මරවැඩි පාඩගම් [59]මිණිකෙස් වැළ, සිරි වළලු දෙපට විද්‍යා අඟුල් දසරු බාහුදණ්ඩි මුතුවැල ගලමුතුමාලා මැණික් මාලා දාකන් පසෙකවින් දසඅඟාතිලක මිණිදම් නීලමාත්‍රා මුතුඔටුනු ආදි වූ ස්ත්‍රී අලඞ්කාරයෙන් දෙවඟනක මෙන් සැරහී දහස් ගණන් ස්ත්‍රීගණයා පිරිවරා ඒ මඟුල් සිවිගෙය ගෙන්වා ගෙන ගොස් දෙනුවර රජදරුවන් සමග උයන්කෙළි කෙළනා අතුරෙහි ලුම්බිනී නම් සල් උයනට පැමිණියෝ ය. එ සඳ ඒ උද්‍යානයෙහි පුන්නාහ නාග තුවරක උද්දාලක මධුගන්‍ධික අශෝක කරවීර කර්ණිකාර තගර කේතක තිලක චම්පක විශාල ශාල සලලතමාලාදි නන් කුසුමයෝ ඒ උතුමාගේ උත්පත්තිශ්‍රී බලම්හ යි නික්මුනාවුන් සේ මුල් පලා කඳ පලා අතු පලා පිටත් ව ප්‍රබුද්ධ ව මුල පටන් අගදක්වා තුරු වසා අතුරු නොදී සිටගත්හ. මල් රොන් ගන්නා බඹරුන්ගේ නාදයෙන් හා කටපුරා කෙසරුගෙන ඔවුනොවුන් පරයා තුරු අග හිඳ ලිය ගී නඟන සියොතුන්ගේ නාදයෙන් හා එක නින්නාද ව ඉතා රම්‍ය විය.

කියන ලදුයේ මැයි:

විභූසිතා බාලජනාති චාලිනී

විභූසිතංගී වනිතෙව මාලිනී;

සදා ජනානං නයනාලි මාලිනී

[60]විලුම්පිනී චාතිවිරොචි ලුම්බිනී - යි.

තව ද තමා කරා එන ප්‍රිය වූ බිසොවක පෙර මගට සතුටු පඬුරු යවන්නා වූ රජකු සේ එ කල ඒ ලුම්බිනී උද්‍යාන නම් රජ ද බිසොවුන් උයන කරා සමීප වූ වේලෙහි පෙර මගට සුවඳ මඳපවන් නමැති සතුටු පඬුරු යැවීය. එකල ඒ බිසවු සුවඳ මඳ පවන් ලදින් උයන දිසාව බලා උද්‍යාන ශ්‍රී දැක උයන් කෙළි කෙළනා කැමැතිවූහ. ඒ අදහස් දත් ඇමැතියෝ එ පවත් රජහට සැලකර යැවූහ. එ පවත් රජ අසා උයන ද සරසව යි කියා බිසොවුන් සිත් සේ උයන්කෙළි කෙළනා ලෙස අවසර දින.

බෝසතුන් බිහිවීම

බිසොවු දහස් ගණන් ස්ත්‍රීන් පිරිවරා ඇමති සමගින් උයනට වැද චිත්‍රලතා වනයට වන් විචිත්‍ර වූ චිත්‍රාඞ්ගනාවක සේ නන් තුරු කුසුම් බල බලා උයන් කෙළි මතින් මගුල් සලවට කරා ගොස් මුල පටන් අග දක්වා මලින් සැදී තුබූ මඞ්ගල ශාල වෘක්‍ෂරාජයා දැක ප්‍රීතිමත් ව විශාල වූ ශාල ශාඛාවක් අතින් ගතැටි ව රන් ලියයක් වන් අත දිගු කළහ. එ කෙණෙහි ප්‍රේමකාන්තාවක දැක අත දිගු කළා වූ කාමපුරුෂයකු සේ ඒ බිසොවුන් දුටුවා වූ ශාලද්‍රැමරාජයා තමාගේ ශාඛා නමැති හස්තය නමා පැලීය. බිසොවු ඒ ශාල ශාඛාව අතින් ගෙන සිටියහ. එ කෙණෙහි කර්‍මජවාත චලනය වී ය. එ පවත් දත් ඇමතියෝ සිසාරා කඩතුරා ඇද රකවල් ගෙන සිටියාහු ය. එ කෙණෙහි ඒ උතුමාගේ ප්‍රසව මඞ්ගල කාලයයි දසදහසක් සක්වළ දෙවියෝ රැස් ව පිරිවරා සිට ගත්හ. එ කල මෑණියන් වහන්සේ ඒ ශාලශාඛාව අල්වාගෙන සිටියදී ම බ්‍රහ්ම ලෝකයෙන් බස්නා බ්‍රහ්මකුමාරයකු සේ, දිව්‍ය ලෝකයෙන් බස්නා දිව්‍යකුමාරයකු සේ ධර්මාසනයකින් බස්නා මහ තෙරකෙනකුන් සේ මවුකුසින් බිහි වූ සේක.

දිව්‍ය බ්‍රහ්මාදීන් පිළිගෙන පූජා කිරීම

එ කෙනෙහි ශුද්ධාවාසයෙහි වසන අරහන්ත බ්‍රහ්මරාජයෙක් මඞ්ගල සම්මත වූ රන්දැලක් දෑතින් ගෙන පෑ බෝසතුන් පිළිගෙන රූපශ්‍රී බලා සතුටු ව “දේවීනි! තොප කුසින් මුළුලොවට මුදුන් මල්කඩක් වැනි වූ මහේශාක්‍ය වූ පුතෙක් උපන. ඉතා සන්තෝෂ වෙව”යි කියා මගුල් තෙපුල් කී ය. අවශේෂ වූ සත්ත්‍වයෝ මවුකුසින් පිටත් වන්නාහු ලේ මුසු වූ ශරීර ඇති ව ප්‍රතික්කූල වූ ශරීර ඇති ව පිටත් වෙති. ඔවුන්ට මහත් වේදනා දක්වා කර්‍මජවාතයෙන් මිරිකී ඉස යටත් ව ලා පෙරළී කෙසිවියකින් අදනා ඇත් පොව්වන් සේ මවුන් මතු දරුවන් වැදීමට ලෝභ නැති කරවා ප්‍රසූත වන්නාහු ය. එසේ නොව මාගේ ස්වාමි දරුවානෝ තමන්ට ද කිසි පීඩාවක් නැති ව මෑණියන් වහන්සේ නො දන්නා සේ, ධර්මකාරකයෙක පුරා ලූ දියත්තක් යෙහෙන් පිටත්ව යන්නා සේ, අතුල් පතුල් දිගු කොට මවුකුසෙහි කිසි කුණපයකුත් නුමුසු ව ඉතා පරිශුද්ධ ව, ඉතා විශාරද ව, ඉතා ප්‍රේමකර ව, කසීසළුවකින් වසා තුබූ ජාතිරඞ්ග මාණික්‍යරත්නයක් සේ දිලියෙමින් මවුකුසින් නික්මුණු සේක. මෙසේ පරිශුද්ධ වූ ශරීර ඇත ද බෝසතාණන් වහන්සේට ද, මවු දේවීන් වහන්සේට ද උපචාර සඳහා ආකාශයෙන් ජලස්කන්‍ධයෝ දෙදෙනෙක් රිදීකඳන් සේ දිව අවුත් දෙදෙනා ම පිරිසිදු කොට නාවා අන්තර්ධාන ව ගියාහු ය.

එ කල බෝසතාණන් වහන්සේ [61]රන් දැලට බිහි ව පිළිගෙන සිටි බ්‍රහ්ම රාජයා අතින් වරම් රජදරුවෝ සතරදෙන අභිමඞ්ගල සම්මත වූ සියුම් පහස් ඇති අඳුන් දිවිසමින් පිළිගත්හ. ඔවුන් අතින් මගුල් මහ ඇමැතියෝ දිව්‍යදුකූල‘චුම්බටකයෙන් පිළිගත්හ. ඒ ඇමැතියන් අතින් බසිමි යි පොළොව පලා සිරිපතුල්සුං දිගු කළ සේක. එ කෙනෙහි පොළොව පලා මහ පියුමෙක් පැන නැගී සිරිපතුල් පිළිගත. එ කෙණෙහි පියුම්ගබ රාජහංස ලීලායෙන් වැඩසිට පැදුම් දිසාව බැලූසේක. එ දෙස දසදහසක් සක්වළ ම එකාඞ්ගන ව පෙනී ගිය. එදෙස දෙවියන් හා මනුෂ්‍යයෝ සුවඳින් මලින් පුදා දොහොත් මුදුන් දී “ස්වාමීනි! මහා පුරුෂයාණෙනි! මෙ දෙස නුඹඹ හා සම කෙනෙකුත් නැත. නුඹට වඩනා කෙනෙකුන් නැත නුඹ ම උතුරුදෑ ය”යි කිය කියා වැන්දාහු ය. නැවත දකුණු දිග බැලූසේක. එ දෙසත් ලොව එකාඞ්ගන වී ය. දෙව්මිනිස්සු වැඳුම් දී “හිමි! නුඹට වඩා උත්තර කෙනෙක් නැතැ”යි ආශිර්වාද කළහ. ඉන්පසු පශ්චිම දිග බැලූ සේක. එදිග දිව්‍යමනුෂ්‍යයෝ හැම සාධුනාද පවත්වා මලින් ගඳින් පුදා “හිමි! නුඹට වඩා උත්තරයෙක් මේ දිගත් නැතැ”යි කියා ස්තුති ඝෝෂා කළහ. ඉක්බිති උතුරුදිග බලා එ දිග දෙව්මිනිසුන් වැඳුම් දුන් කල මෙසේ සතර මහදිගය, සතර අනුදිගය, පොළොවය, අහසය යන මේ දස දිග් බලා තමන් හා සම කෙනෙකුත් නො දැක “මට උතුරු ව සිටි එක ද සත්ත්‍වෙයකුත් නැත. එසේ හෙයින් මම් ම උතුරු වෙමි”යි නැගු නැගූ පත්ලෙහි පියුම් නංව නංවා සත් පියවරක් උතුරු දිගට වැඩ සප්ත පදාන්තයෙහි සිට:

“අග්ගොහමස්මි ලෝකස්ස - ජෙට්ඨොහමස්මි ලෝකස්ස,

සෙට්ඨොහමස්මි ලෝකස්ස - අයමන්තිමා ජාති නත්‍ථිදානි පුනබ්භවො”යි.

යනාදීන් අභීත වූ සිංහනාදයෙන් ගර්ජනා කළසේක. එ දවස් මාගේ ස්වාමිදරුවන් මවුකුසින් බිහිවූදා සත් පියවරක් ඔසවා ගොස් කළා වූ මේ අභීත නාදය දසදහසක් සක්වළ මුළුල්ලෙහි බඹලොව ගසා පැවැත්ත එ කෙනෙහි දස දහසක් සක්වළ දසදහසක් සහම්පතී මහා බ්‍රහ්මයෝ තුන්ගවු සා සේසත් ගෙන බෝසතුන් සිරසට ධරා පූජා කළහ. තවද දස දහසක් ශක්‍රයෝ එක්සිය විසිරියන් දිග ඇති සාරමස් දෙපෝයක් නො නැසී පවත්නා නාද ඇති දස දහසක් දකුණුසක් තුඩ තබා පිඹ පූජා කළහ. තව ද දස දහසක් සුයාම රජහු තුන්ගවු දිග චාමර සලා පූජා කළහ. තව ද දස දහසක් සන්තුෂිත දිව්‍යෙන්‍ද්‍රයෝ තුන්ගවු සා ම දසදහසක් මිණි තල් වැට සලා පූජා කළහ. තව ද දස දහසක් පඤ්චශිඛ දිව්‍යපුත්‍රයෝ තුන්ගවු දිග මිණි වීණා ගායනාවෙන් පූජා කළහ. තව ද සුනිර්මිත පරනිර්මිතාදි සෙසු දිව්‍යරාජයෝ රන් කරඬු, රුවන්කරඬු, රන්මරවැඩි, රුවන්මරවැඩි, මිණිඔටුනු, නලල්පට, මඟුල්කඩු, දිවමල් කඳු, දිවසුවඳ කඳු, දිවසඳුන් සුණු ආදි සියගණන් මගුල් සත්කාර ගෙන සිට අපමණ වූ පූජා කළහ. තව ද මවුකුස පිළිසිඳගත් වේලෙහි සෙයින් ම එදා මවුකුසින් බිහි වූ වේලෙහි ද ලොවට අද්භූත වූ පූර්වනිමිති පූජා දෙතිස ද වී ය.

මෙසේ තමන් බුදුවන ජාතියෙහි මව්කුසින් බිහි වූ ඇසිල්ලෙහි ම දස දහසක් සක්වළ මුළුල්ලෙහි ම සැටදහසක් කාමාවචර දිව්‍යලෝකවල අනූ දහසක් දිව්‍යරාජයන් කළ පූජා හා තව ද දස දහසක් සක්වළ මුළුල්ලෙහි ම අරූතල අසංඥතලයන් හැර එක්ලක්‍ෂ පනස් දහසක් රූපාවචර බ්‍රහ්මලෝකවල බ්‍රහ්මරාජයන් කළ පූජා හා, අද්භූත පූජාවන් දෙතිස් දෙනා හා, දෙලක්‍ෂ සතළිස් දහස් දෙතිස් මහා පූජාවක් මෙසේ ලත් හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, ත්‍රිභුවන තිලක වූ ත්‍රිභුවනාධිපති වූ ත්‍රිභුවනේශ්වර වූ, ත්‍රිභුවන නායක වූ, ත්‍රිභුවන කල්පද්‍රැම වූ ත්‍රිභුවන චූඩාමණි වූ, ත්‍රිභුවන චින්තාමාණික්‍ය වූ, ත්‍රිභුවන ප්‍රදීප වූ, ත්‍රිභුවනාලෝක වූ, මාගේ බුදුහු අර්හත් නම්වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජාවිසේසං සහපච්චයෙහි

යස්මා අයං අරහති ලෝකනාථො,

අත්‍ථානුරූපං “අරහං”ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං - යි.

මේ පූජාවලියෙහි අප බුදුන් ලුම්බිනීවනෝද්‍යානයෙහි දී ලද

ප්‍රසව මඞ්ගල පූජා කථා නම් වූ නව වන පරිච්ඡේදය නිමි.

10. මහබිනික්මන් පූජා

තව ද: අප බුදුන් පැවිදි වන දා ලද මහබිනික්මන් පූජා නම් කවරහ? යත්;

කුමරු කිඹුල්වත් පුරයට වැඩමවාගෙන යාම

මෙසේ මාගේ ස්වාමිදරුවාණන් ලුම්බිනී වනෝද්‍යානයෙහි දී මුළුලොවට මුදුන් මල්කඩක් සේ, මුළුලොවට අමාකඩක් සේ, මුළු ලොවට රුවන්කඩක් සේ, මවුකුසින් බිහිව මෙසේ මුරු බඹ කැලන් කළ පූජා ලත් කල ශාක්‍ය-කෝලිය දෙනුවර එක්ලක්‍ෂ සැටදහසක් රජදරුවෝ මහත් වූ පෙළහර කොට බෝසතුන් කිඹුල්වත් පුරයට ම වඩාගෙන ගියහ.

තව ද; වෙස්සන්තර ජාතකයෙහි මද්‍රිදේවී බෝසතුන් හා සමගම සම වූ ආයුඃශ්‍රීන් රාජ්‍යශ්‍රී විඳ එයින් සැව බෝසතුන් හා සමග ම තුසීපුරයෙහි ඉපැද සත් පනස්කෙළ සැටලක්‍ෂයක් හවුරුදු මුළුල්ලෙහි බෝසතුන්ට ම අගමෙහෙසුන් ව වැස, දෙව්බඹුන්ගේ ආරාධනා ඉවසා බෝසතුන් අවුත් මේ ශුද්ධෝදන රජහට දා ව මේ මහාමායා දේවීන් කුස පිළිසිඳ ගත් වේලෙහි ම ඒ අගමෙහෙසින් වූ දිව්‍යාඞ්ගනාවෝ ද තුසීපුරෙන් සැව අවුත් දෙව්දැහැ නම් වූ කෝළිය නුවර මහාමායා දේවීන් බෑ සුප්‍රබුද්ධධ රජහට දා ව සුද්ධෝදන රජ්ජුරුවන් නං වූ අමිතා නම් බිසොවුන් කුස පිළිසිඳ බෝසතුන් මවුකුසින් බිහි වූ එම වෙසඟ මැදි පොහෝ දා විසා නකතින් තුමූ ද බිහි ව යශෝධරා නම් ලද. එදා ශුද්ධෝදන රජ්ජුරුවෝ “මපුතණුවෝ මහපින් ඇතියහ. අද උන් හා එක නකත උපන් රජ දුවක් කවරක් දෝ හෝ” යි තෙසැට දහසක් රාජධානි පරික්‍ෂා කරවා තමන් නැගනියන් එ දා දුවක ලදහ යි අසා “ම යෙළී මපුතනුවන්ට මතු අගමෙහෙසුන් වෙ”යි කියා එ දවස් ම පුතනුවන් නමින් කිරිමවුන් ලවා සියලු මගුල් ම එකදා කරණ සේ නියෝග කළහ.

සමග උපන් වස්තූන්

මෙසේ යශෝධරා දේවිය, කන්‍ථක නම් අශ්වරාජයා ය, ඡන්න නම් අමාත්‍යයා ය, අනඳ මහ තෙරුන් වහන්සේ ය, කාළුදායි නම් අමාත්‍යයාණෝ ය, සතර මහා නිධානය, ශ්‍රී මහා බෝධීන්වහන්සේ ය යන මේ වස්තු සත එක දා ම උපන. ඒ සතරමහානිධානයෙන් ශංඛ නම් නිධානය වටින් ගව්වක් තැන. ඵල නම් නිධාන ය වටින් දෙගව්වක් තැන. උත්පල නම් නිධාන ය වටින් තුන් ගව්වක් තැන. පුණ්ඩරීක නම් නිධානය වටින් සතර ගව්වක් තැන. ගැඹුරෙන් දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් මහපොළොව හා සම වූ ගැඹුර ඇත්තේ ය. එයින් එක නිධානයෙක පිධානය හැරපියා ඔබගේ විධානයෙන් මුළු ලෝ වැසියෝ කැමති කැමති පමණ සත්රුවන් උකාගෙන යෙත් නමුත් ගත් තැන් පිරේ ම ය. අඟලක්තැනුත් අඩු නොවෝ ම ය. නො එක් ජාතියෙහි දිළිඳුන් ගේ සිත් පුරා නැතැ යි නො කියා දුන් සත්තසතකාදී දානපාරමිතාවන්ගේ ආනුභාවයෙන් ම සතර මහා නිධානය ලද සේකැයි දතයුතු.

කාලදේවල තාපසයන් පැමිණිම

තව ද ඒ ශුද්ධෝදන රජ්ජුරුවන්ගේ පියාණන් සිංහහනු නම් රජ්ජුරුවන්ගේ අග්‍රපුරෝහිත වූ කාළදේවල නම් අමාත්‍යයාණෝ ශුද්ධෝදන රජ්ජුරුවන් බාල කල ශිල්ප උගන්වා පසු ව පියරජජහුගේ අයාමෙන් ශුද්ධෝදන රජ්ජුරුවන් රාජ ශ්‍රී විඳුනා කල තමන් දැක රජ්ජුරුවන් ආදර දක්වන හෙයින් ගිහිගෙයි නොරඳමි යි තපස් කෙරෙමි යි අවසර ඉල්වා “එසේ වී නම් මපියාණන් වහන්සේත් නැත. ගුරු වූ නුඹවහන්සේත් දුරකට ගියහොත් මට රක්‍ෂාව නැත. මාගේ මේ උයනේ ම වැඩහිඳ තපස් කොට නිතර ම මාගේ ගෙට ම වැඩ වළඳා වදාළ මැනවැ”යි රජ්ජුරුවන් කී කල එසේ ම කෙරෙමි යි රජ්ජුරුවන්ට ප්‍රතිඥා දීලා ගොස් තපස් වෙස් ගෙන එම උයන වාසය කොට භාවනා කරන්නාහු නොවෝ දවසකින් රූපවිරාගය කොට අභිඥා ලදින් අතීතයෙන් සතළිස් කපක් හා අනාගතයෙන් සතළිස් කපස් හා අසූ කපක් දක්නා නුවණ ඇති ව රජ ගෙයිදී වළඳා වදාරා රාත්‍රීභාගයෙහි එම උයනේ වැස දිවාවිහාර සඳහා සමහර දවසෙක නාගභවනයට ගොස් නයින්ගේ දිව්‍යොද්‍යානවල ධ්‍යානසුවයෙන් හිඳිති. සමහර දවසෙක ගරුඬ භවනයෙහි ගොස් හිඳිති. සමහර දවසෙක අසුර භවනයෙහි ගොස් හිඳිති. සමහර දවසෙක උතුරුකුරු දිවයින් ආදියෙහි ගොස් හිඳිති. සමහර දවසෙක ශක්‍රයාගේ නන්‍දෙනාද්‍යානයෙහි ගොස් හිඳිති. ලෝකයෙහි බුදුන්ගේ ප්‍රතිසන්‍ධි උත්පත්ති ආදි වූ දෙතිස් පූර්වනිමිති පෙනෙනේනා වූ මහාමඞ්ගල කාලයෙහි ලොව යම් සෘෂිකෙනෙකුන් ධ්‍යානසුවයෙන් ඉඳීම මාගේ බුදුන්ගේ ම එක් අද්භූත වූ ධර්මයක් ම හෙයින් එ දවස් කාළදේවල නම් තාපසයෝ ද රජගෙයි ද වළඳලා දිවාවිහාර සඳහා ශක්‍රභවනයට නැගී ශක්‍රයාගේ නන්‍දෙනාද්‍යානයෙහි දිව්‍ය ප්‍රාසාදයෙක දිව්‍යාසනයක් මතුයෙහි ධ්‍යාන සුවයෙන් උන්හ.

එදා මෙසේ බුදුන්ගේ උත්පත්ති ශ්‍රී දුටුවා වූ දේවතාවෝ “කිඹුල්වත් නුවර ශුද්ධෝදන රජහුගේ පුත්රුවනෙක් උපනී. ඒ උත්තමයා බෝමැඩ අරා බුදු ව ධම්සක් පතුරුව යි. ඔහුගේ බුද්ධ ශ්‍රී බලම්හ”යි කිය කියා තවුතිසා දිව්‍ය ලෝකයෙහි දෙවියෝ අත්වැල් බැඳ නට නටා ගී කිය කියා නඳුන් උයන් ආදියෙහි ඇවිද මහත් වූ උත්සවයෙන් නෙයියාඩම් කෙළනාහු ය. එ වේලෙහි ඒ කාළදේවල නම් තාපසයෝ ධ්‍යානයෙන් නැඟී දෙවියන්ගේ මේ උත්සව කෙළි දැක “මෙ වැනි උත්සව කෙළියක් අනික් කලෙක නුදුටු විරීම්. කිමෙක් ද? දෙවියෙනි! තොපගේ මේ ශක්‍රදේවේන්‍ද්‍රයා අනික් ශක්‍රයකුගේ සම්පත් ලැබපී ද, තව ද, අඩු තුන්කෙළක් දෙවඟනන් ලැබපී ද, කිමෙක් ද? අද ඉතා කුල්මත්නැ”යි විචාළහ. දෙවියෝ කියන්නාහු “ශුද්ධෝදන රජහුගේ පුතෙක් උපන. එ කුමර පන්තිස් හවුරුද්දකින් ලොවුතුරා බුදු වෙයි. ඒ කාලය අපගේ දිව්‍ය ගණනායෙන් එක්විසි පැයෙක; එසේ හෙයින් ඔහුගේ බුදුසිරි ඇසිල්ලකින් දකිනා හෙයින් සතුටු වම්හ”යි කීහ.

කාළදේවලයෝ දෙවියන්ගේ බස් අසා තුමූ ද ආශ්චර්‍ය්‍යවත් ව ඇසිල්ලකින් දෙව්ලොවින් බැස රජුගේ ගෙට ගොස් පනවන ලද ආසනයෙහි පලක් බැඳ උන්හ. ඉක්බිත්තෙන් ශුද්ධෝදන රජ්ජුරුවෝ අවුත් තාපසයන් වැඳ සිටියහ. එ කල තාපසයෝ “මහරජ! තොපගේ දේවීන් පුතකු ලදහ යි ඇසීමි. එ කුමරුන් දැන් ම දකිනා කැමැත්තෙමි”යි කීහ. රජ්ජුරුවෝ එ බස් අසා ගෙට දිවගෙන ගොස් පුතණුවන් නාවා මලින් ගඳින් සරහා ලක්‍ෂයක් අගනා පලසකින් වසා ගෙනවුත් “පුතණ්ඩ! මේ ස්වාමීන් වැඳ පින් පුරා ගන්නැ”යි කිය කියා තාපසයන් නරා බෝසතුන් පෑලූහ.

එ කල මාගේ ස්වාමිදරුවාණන් බුදු වන ජාතියෙහි කිසිකෙනකුන් නො වඳනා හෙයිනුත්, වැඳුම් ගත් කෙනකුන් ඉස්මුදුන් සත්කඩක් ව පැළෙන හෙයිනුත්, බෝසතුන්ගේ තේජසින් හුනස්නේ හිඳගත නොහී තාපසයෝ බිමට බැස පීහ. එ කෙණෙහි බෝසතාණන්ගේ සිරිපතුල් සුං දෙක පෙරළි නැඟී තාපසයන් ජටාවෙහි පෙනී මේඝකටයෙන් පැනනැගී විදුලිය සුං දෙකක් සේ විරාජමාන විය. ඒ ආශ්චර්‍ය්‍යය දුටු පිය මහ රජ්ජජුරුවෝ ප්‍රේමධරා ගත නො හෙන්නා වූ තුමූද පුතණුවන්ගේ ඒ සිරිපතුල් සුං දෙක තමන් නළල තබාගෙන වැන්දාහ. එකල කාලදේවලයෝ “මේ කෙසේ වූ විස්මය පුරුෂයෙක් දෝ හෝ, අද ශක්‍රබ්‍රහ්මයෝ වූ නමුත් මා දැක නො වැඳ සිටි ය නො හෙති. හිරු සඳු දෙදෙනා මා නොකැමැති කරවා ආකාශයෙන් ගමන් යා නො හෙති. මේ රජ කුමරුවා එසේ වූ මා අතින් වැඳුම් ගත. වැළි ඒකාන්තයෙන් මේ බුදු වේ දෝ හෝ බුදු ලකුණු මෝහට ඇද්දෝ හෝ”යි මිණි කැටපත් සුං දෙකක් බලන්නා සේ සිරිපතුල් සුං දෙක තමන් දෑතින් අල්වා ගෙන මඟුල් ලකුණු බලන්නාහු පළමු කොට විසිතුරු වූ මලස්නක් සේ දෙපතුල් පුරාතුබූ අටතුරා සියක් මඟුල් ලකුණු දුටහ.

මගුල් ලකුණු

දෙපතුල් මැද පිහිටි සක්ලකුණු දෙක දුටහ. එකි එකී චක්‍ර ය සිසාරා සිටි දෙ දහසක් දැවි දැක, දැවි වටා සිටි රේඛා දැක, අතරතුරෙහි ඡිද්‍රමුඛ ලක්‍ෂණ දැක, එහි පෙළ මල් රැසක් සේ තුබූ සිරි වස දෙකය, ස්වස්තික දෙකය, නඳවට දෙකය, සෝවැති දෙකය, අවතංස දෙකය, වඩමං දෙකය, භද්‍රපීඨ දෙකය, ප්‍රාසාද දෙකය, මගුල් තොරණ දෙකය, සේසත් දෙකය, මගුල් කඩු දෙකය, තාලවෘන්ත දෙකය, පිල්කලප් දෙකය, චාමර දෙකය, නළල්පට දෙකය, මිණිරුවන් දෙකය, සුමනදම් දෙකය, නීලෝත්පල දෙකය, රක්තෝත්පල දෙකය, ශ්වෙතෝත්පල දෙකය, රත්පියුම් දෙකය, හෙළපියුම් දෙකය, පුන්කලස් දෙකය, පූර්‍ණපාත්‍ර දෙකය, කිරි මුහුදු දෙකය, තීල්මුහුදු දෙකය, ප්‍රවාල සාගර දෙකය, ස්වර්ණ සාගර දෙකය, සක්වළ ගල දෙකය, හිමාලය ගල් දෙකය, මෙරගල් දෙකය, හිර විමන් දෙකය, සඳ විමන් දෙකය, පූර්‍වවිදෙහ දිවයින් දිකය, පශ්චිම දිවයින් දෙකය, උතුරුකුරු දිවයින් දෙකය, ජම්බුද්වීප දෙකය, සප්තරත්න දෙකය, සපිරිවරින් සිටින චක්‍රවර්ති දෙදෙනාය, දක්‍ෂිණාවර්ත ශංඛ දෙකය. ස්වර්ණ මත්ස්‍ය යුගල දෙකය, චක්‍රායුධ දෙකය, සප්ත මහා ගංගාවෝ දෙදෙනාය, සප්ත මහා සීදන්තසාගර දෙකය, යුගන්‍ධර පර්වත දෙකය, ඊශධර පර්වත දෙකය, කරවීක පර්වත දෙකය, සුදර්ශන පර්වත දෙකය, නෙමින්‍ධර පර්වත දෙකය, විනතක පර්වත දෙකය, අශ්වකර්ණ පර්වත දෙකය, අනවතප්ත විල් දෙකය, ඡද්දන්ත විල් දෙකය, කර්ණ මුණ්ඩ වීල් දෙකය, රථකාර විල් දෙකය, සිංහප්‍රතාප විල් දෙකය, මන්‍දාකිණි විල් දෙකය, කුණාල විල් දෙකය, ගරුඩ රාජයෝ දෙදෙනාය, සංසුමාරයෝ දෙදෙනාය, මගුල් ධ්වජ දෙකය, පතාකා දෙකය, ස්වර්ණ පර්වත දෙකය, ස්වර්ණ සිවිකා දෙකය, වල් විදුනා දෙකය, කෛලාස කූට දෙකය, සිංහරාජයෝ දෙදෙනාය, ව්‍යාඝ්‍රරාජයෝ දෙදෙනා ය, වලාහක අශ්වරාජයෝ දෙදෙනාය, උපොසථ හස්තිරාජයෝ දෙදෙනාය, වාසුකී නම් නාගරාජයෝ දෙදෙනාය, හංසරාජයෝ දෙදෙනාය, වෘෂභරාජයෝ දෙදෙනාය, ඓරාවණ නම් හස්තිරාජයෝ දෙදෙනාය, ස්වර්ණ මකර රාජයෝ දෙදෙනාය, ස්වර්ණ නෞකාවෝ දෙදෙනාය, සුරභිධෙනුවෝ දෙදෙනාය, කිම්පුරුෂයෝ දෙදෙනාය, කින්නරාඞ්ගනාවෝ දෙදෙනාය, සඳකිඳුරෝ දෙදෙනාය, පුරවිකෙවීල්ලෝ දෙදෙනාය, මයුර රාජයෝ දෙදෙනාය, කෞඤ්චරාජයෝ දෙදෙනාය, චක්‍රචාකරාජයෝ දෙදෙනාය, ජීවං ජීවකයෝ දෙදෙනාය,

චාතුම්මහාරාජික දෙව්ලෝ දෙකය, තවුතිසා දෙව්ලෝ දෙකය, යාම දෙව්ලෝ දෙකය, තුෂිත දෙව්ලෝ දෙකය, නිම්මාණරතී දෙව්ලෝ දෙකය, පරනිම්මිත වශවර්ති දෙව්ලෝ දෙකය, රූපාවචර වූ බ්‍රහ්මපාරිෂද්‍ය නම් බඹලෝ දෙකය, බ්‍රහ්ම පුරෝහිත නම් බඹලෝ දෙකය, මහාබ්‍රහ්ම නම් බඹලෝ දෙකය, පරිත්තාහ නම් බඹලෝ දෙකය, අප්‍රමාණාභ නම් බඹලෝ දෙකය. ආභස්වර නම් බඹලෝ දෙකය, පරිත්තසුභ නම් බඹලෝ දෙකය, අප්‍රමාණ සුභ නම් බඹලෝ දෙකය, ශුභකීර්ණණ නම් බඹලෝ දෙකය, වෙහප්ඵල නම් බඹලෝ දෙකය. අසඤ්ඤසත්ත නම් බඹලෝ දෙකය, අවිහ නම් බඹලෝ දෙකය. අතප්ප නම් බඹලෝ දෙකය, සුදස්ස නම් බඹලෝ දෙකය, සුදස්සී නම් බඹබෝ දෙකය, අකනිෂ්ඨක නම් බඹලෝ දෙක යයි යන මේ දෙසිය සොළොස් මගුල් ලකුණු ඒ බෝසතාණන්ගේ සිරිපතුල් සුං දෙකින් බලං දැක ඒකාන්තයෙන් මේ උතුමා බුදු වේම යයි දැන තව ද පාදාන්තය පටන් කේසාන්තය දක්වා බලනුයේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන් දිට

කෙසේ වූ ලක්‍ෂණයන් දිටී ද? යත්:-

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ

රන් මිරිවැඩි දෙකක් සේ තැනී තිබෙන පතුල් ඇති පළමුවන ලක්‍ෂණය ය, ඒ පතුල් මැද පිහිටි චක්‍රලක්‍ෂණය ය, රත්පලස් හූවටක් සේ වට ව සිනිඳු ව දිගු ව තිබෙන්නො වූ විළුම් ඇති ලක්‍ෂණය ය, ක්‍රමයෙන් සිහින් ව දිගුව තිබෙන්නා වූ ඇඟිලි ඇති ලක්‍ෂණය ය, ගිතෙල හලාලූ පුලුන් සේ ඉතා මොළොක් ව සිනිඳු ව තිබෙන්නා වූ අතුල් පතුල් ඇති ලක්‍ෂණය ය, ජාල කවුළුවක් සේ ලක්‍ෂණයෙන් පිරුණා වූ හස්තපාදයන් ඇති ලක්‍ෂණය ය, පාද ගුල්ඵයන් යටි පතුල් පෙනෙන්නා සේ උස්ව තිබෙන්නා වූ ලක්‍ෂණය ය, ඵර්ණ මෘගයන් බඳු වූ වට ව පිරී තිබෙන්නා වූ ජංඝා ඇති ලක්‍ෂණය ය, නො නැමී සිට අතුල් දෙකින් දෙදන මඬල පිරිමදනා වූ දීර්ඝ හස්ත ඇති ලක්‍ෂණය ය, පුරුෂ ව්‍යඤ්ජනය පියුම් කෙමියක් රොන්සළායෙන් සැඟවී තිබෙන්නා සේ කොශෝහිත වස්ත්‍රෙයන් සැඟවී තිබෙන්නා වූ ලක්‍ෂණය ය, දිවිදළින් ඔප් නැඟූ කනක රූපයක් සේ ඉතා සියුම් වූ ඡවිවර්ණ ඇති ලක්‍ෂණය ය, පියුම් පතෙහි දිය නො ඇලෙන්නා සේ රජොජල්ලිකාවන් ඇඟ නො රඳන්නා වූ ලක්‍ෂණය, එකි එකී ලෝම කූපයෙහි එකි ලෝමයක් ම ඇති ලක්‍ෂණය ය, සියලු ලෝමයන් අඳුන් වන්ව දක්‍ෂිණාවතී ව නැමී මුදුන් බලා සිටින්නා වූ ලක්‍ෂණය ය, සතර දිගට නො නැමී බ්‍රහ්මයා සේ සෘජුව තිබෙන්නා වූ ගාත්‍ර ඇති ලක්‍ෂණය ය, දෙඅතුල් දෙපතුල් දෙඅංසකූට පිටිකර යන මේ සප්තස්ථානය පිරී උස්ව තිබෙන්නා වූ ලක්‍ෂණය ය, සිංහයකුට බඳු වූ ඌර්ධවකාය ඇති ලක්‍ෂණය ය, පිට රන්පෝරුවක් සේ තැනී තිබෙන්නා වූ අන්තරාංසයන් ඇති ලක්‍ෂණය ය. නිග්‍රොධ වෘක්‍ෂයක් සේ උස හා සම වූ ව්‍යාමය-ව්‍යාමය හා සම වූ උසය යන සම පරිමණ්ඩල වූ ලක්‍ෂණය, රන් බෙරක් සේ සම වූ වට වූ ග්‍රීවා ඇති ලක්‍ෂණය ය, සත්දහසක් රස නහරයන් නැගී රස දිවට එක් ව උඩුබලා සිට රජ ග්‍රාසය කරන්නා වූ ලක්‍ෂණය ය, සිංහයකු සේ වට ව සිටිනා වූ හනුභාග ඇති ලක්‍ෂණය ය,

සමසතළිස් දන්තධාතුන් ඇති වන ලක්‍ෂණය ය, ගා යෙදූ සක්පත් වටක් සේ සමව සිටිනා දන්තධාතුන් ඇති වන ලක්‍ෂණය ය, එකපෙළ හිඳුවාලූ වීදුරු පෙළක් සේ නොසිදුරු ව තිබෙන්නා වූ දන්තයන් ඇතිවන ලක්‍ෂණය ය, නකත් තරු පෙළක් සේ සුදුරස් විහිදුනා අන්තයන් ඇති වන ලක්‍ෂණය ය, දෙකන් සිදුරු නළල්තල නැහැමඬල පිරිමදනා වූ දිගු වූ ජිව්හා ධාතු ඇති ලක්‍ෂණය ය, කුරවීක නාදයක් සේ ඉතා මධුුර වූ අෂ්ටාඞ්ග සමුපෙත බ්‍රහ්මනාද ඇති ලක්‍ෂණය ය, නිලුපුල් දෙකක් සේ නිල්රස් විහිදුනා වූ ඇස් ඇති ලක්‍ෂණය ය, එම දා වැදූ රත් වස්සකුගේ අක්‍ෂි මණ්ඩලය සේ පරිමණ්ඩල ව ජ්‍යොතිමත්ව තිබෙන්නා වූ ඇස් ඇති ලක්‍ෂණය ය, රන්ගල් මුදුනෙක නැගී දිලියෙන පුන්සඳ සුඟක් සේ නළල් මැදින් නැඟී දක්‍ෂිණාවර්තව නැමී උඩු බලා තිබෙන්නා වූ ඌර්ණරෝම ධාතුව ඇති ලක්‍ෂණය ය, දෙකන්සිළු පටන් නළල්තල රන්පටෙකින් වැසුවා සේ තිබෙන්නා වූ උණ්හීස සීස ලක්‍ෂණය ය. යන මෙසේ වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන් වෙන වෙන ම බලා ඒකාන්තයෙන් මේ උතුමා බුදු වේ ම ය යි දැන ඉතා සතුටුව නැවත විශේෂයෙන් බලන්නා වූ ඒ කාළදේවලයෝ මේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන් අනුව පවත්නා වූ ව්‍යඤ්ජන ලක්‍ෂණයන් අසූව ද දුටහ.

කෙසේ වූ ලක්‍ෂණ ද? යත්:-

අසූ අනු ලකුණු

චිත්තංගුලී ය, අනුපුබ්බංගුලී ය, වට්ටංගුලී ය, තම්බ නඛ ය, තුඞ්ග නඛ ය, සිනිද්ධ නඛ ය, නිග්ගූළ්හ ගොප්ඵක ය, සමපාද ය, ගජ සමානක්කම ය, සීහසමානක්කම ය, හංස සමානක්කම ය, උසභ සමානක්කම ය, දක්‍ෂිණාවර්ත වූ ගාත්‍ර ය, සමන්තතො චාරු ජානු මණ්ඩල ය, පරිපූර්ණ වූ පුරුෂ ව්‍යඤ්ජන ය, අච්ඡිද්‍ර වූ නාභි ය, ගම්භී වූ නාභි ය. දක්‍ෂිණාවර්ත වූ නාභි ය, හෙමගජ කරාකාර වූ ඌරුබාහු ය, සුවිභක්ත වූ ගාත්‍ර ය, අනුපූර්ව වූ ගාත්‍ර ය, මට සිලුටු වූ ගාත්‍ර ය, අනුස්සන්න වූ ගාත්‍ර ය, අලීන වූ ගාත්‍ර ය, තිලකාදි රහිත වූ ගාත්‍ර ය, අනුපූර්වයෙන් රුචිර වූ ගාත්‍ර ය, ඉතා පරිශුද්ධ වූ ගාත්‍ර ය. කොටි ශත සහස්‍ර හස්ති බල ධාරණ වූ ගාත්‍ර ය, උත්තුඞ්ග වූ නාස ය, සුරකත වූ ද්විජමාංස ය, ශුද්ධ වූ දන්ත ය, සනිග්ධ වූ දන්ත ය, පරිශුද්ධ වූ ඉන්‍ද්‍රිය ය, වෘත්ත වූ දන්ත ය. රක්ත වූ ඔෂ්ඨ ය, ආයත වූ වක්ත්‍ර ය, ගම්භීර වූ පාණිතල ලෙඛය, ආයත වූ ලෙඛ ය, සෘජු වූ ලෙඛ ය, රුචිර වූ සණ්ඨාන ලෙඛ ය, පරිමණ්ඩල වූ ශරීරප්‍රභාව ය, සම්පූර්ණ වූ කපොල ය, දිගුපුළුල් වූ නේත්‍ර ය, පඤ්චප්‍රසාද වූ නේත්‍ර ය, ආකුඤ්චිතාග්‍ර වූ පඛුම ය, මෘදු වූ තුනු වූ රක්ත ජිහ්වා ය, ආයත වූ රුචිර වූ කර්ණ ය. ගණ්ඨින් විරහිත වූ ශීර්ෂ ය, නිග්ගුළ්හ වූ ශීර්ෂ ය, ඡත්‍රසන්නිභ වූ ශීර්ෂ ය, ආයත පෘථුල වූ ලලාට ය, සුසණ්ඨාන වූ භ්‍රෑයුග්ම ය, සණ්හ වූ භ්‍රෑ යුග්ම ය, අනුලෝම වූ භ්‍රෑයුග්ම ය, මහන්ත වූ භ්‍රෑයුග්ම ය, ආයත වූ භ්‍රෑයුග්ම ය,

සුඛුමාල වු ගාත්‍ර ය, සෞම්‍ය වූ ගාත්‍ර ය, ඉතා උජ්වලිත වූ ගාත්‍ර ය, ඉතා සිලුටු වූ ගාත්‍ර ය, ඉතා කෝමල වූ ගාත්‍ර ය, ඉතා සිනිඳු වූ ගාත්‍ර ය, සුවඳ විහිදුනා වූ ගාත්‍ර ය, සම වූ ලෝම ය, කෝමල වූ ලෝම ය, දක්‍ෂිණාවර්ත වූ ලෝම ය, අති නීල වූ ලෝම ය, අති සනිග්ධ වූ ලෝම ය, අති සුඛුම වූ අස්සාස පස්සාස ධාරණ ය, සුගන්‍ධ වූ මුඛ ය, සුගන්‍ධ වූ මුදුන ය, සුනීල වූ කේශ ය, දක්‍ෂිණාවර්ත වූ කේශ ය. සුසංස්ථාන වූ කේශ ය, සිනිඳු වූ කේශ ය, සිලුටු වූ කේශ ය. අලුලිත වූ කේශ ය, සම වූ කේශ ය, කොමල වූ කේශය. සිරොධාතුවෙන් වඩුරියනක් නැඟි හැම වේලෙහි ම ජ්‍යොතිමත් ව තිබෙන්නා වූ කේතුමාලා නම් රශ්මිකදම්බ යයි යන මෙසේ වූ අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයන් දැ යි මෙසේ තුන්සිය අටවිස්සක් මඟුල් ලකුණු දැක ඒකාන්තයෙන් ම මේ උතුමා මේ ජාතියෙහි ම බුදු ව ධර්මයක් දෙසා ම යැ යි කියා උපන් ලකුණු තමන්ගේ වේදයෙන් දැක නූපන්නා වූ දන්තාදි ලක්‍ෂණයන් තමන්ගේ දිවසින් දැක, කුල්මත් ව තමන් තපස්වී නියාව ද එ තැන ගිහිගෙය නියාව දැයි ප්‍රීතීන් සිහි එළවා ගත නොහී පිරුණු පැන්කළයක් මුහුණින් නැමූ කල බක බකයේ පැන් වැගිරෙන්නා සේ කක කකයේ සී දමා පීහ.

කාලදේවල තාපසයන් සිනාවීම හා හැඬීම

ඉක්බිත්තෙන් “මේ උත්තම පුරුෂයාගේ බුද්ධ ශ්‍රී දැක්ක හෙම් දෝ හෝ නො හෙම් දෝ හෝ”යි දිවසින් බලා අතුරෙහි තමන් මිය බුදුන් සියයක් දහසක් ලක්‍ෂයක් ඉපැදත් සසරින් මුදාගත නො හැකි අරූතලයෙහි උපදනා සේ දැක “ඉතා මහත්ත වූ හානියෙක මට වූයේ”යි ශෝක කරන්නාහු බුන් කළයෙකින් පැන් වැගිරෙන්නා සේ කඳුළු ධාරාවන් වගුරුවා හැඬූහ. අමාත්‍යයෝ මේ සිනාව හා ඇඬීමෙන් තාපසයන් කළා වූ කාරණ දෙක ම දැක ‘කිමෙක් දෝ හෝ මේ බෝසතාණන්ට අතුරෙහි වන අන්තරායක් දැක අඬද්දෝ හෝ යි සැක වූ සිත් ඇතියාහු “කිමෙක, හිමි! තෙපි දැන් ම මහත් කොට සීපුව, සිනා කෙළවර වලපිනට පටන් ගතුව. කාරණ කිමෙක් දෝ හෝ” යි විචාළහ. තාපසයෝ කියන්නාහු ‘මේ කුමරුවා මතු බුදු වන සේ දැක සන්තෝෂයෙන් සීපිම්. ඔහුගේ බුද්ධ ශ්‍රී මා නො දක්නා සේ දැක මම් ම මා කෙරෙහි කළ කම්පාවෙන් ශෝක ගෙන හැඬීමි. මේ කුමරුවාට වන අන්තරායෙක් නැතැ”යි රජ්ජුරුවන් හා අමාත්‍යයන් සතුටු කරවා රජගෙන් නික්ම සිතන්නාහු “මම මේ කුමරුවාගේ බුද්ධ ශ්‍රී දැක්ක නොහෙමි. මාගේ නෑයන්ගෙන් බුදු සිරි දක්නට පොහොසත් කෙනෙක් ඇද්දෝ හෝ”යි සිතා පරීක්‍ෂා කරන්නාහු තමන්ගේ නාළක නම් බෑනා කෙනෙකුන් ඇති සේ දැක එ කෙණෙහි එම නුවර වසන තමන් නැගනියන්ගේ ගෙට ගොස් පැනවූ අස්නේ හිඳ “නඟ! තොප පුතු වහා ගෙනෙව”යි කියා බෑනනුවන් කැඳවා කියන්නාහු “ශුද්ධෝදන රජ්ජුරුවන්ගේ අද උපන් පුතනුවෝ පන්තිස් හවුරුද්දක් ගියකල ලොවුතුරා බුදුවෙතී මුළුලෝ දුකින් මුදති ආයු මඳහෙයින් මම ඔවුන්ගේ බුද්ධ ශ්‍රී දැක්ක නො හෙමි. තෝ මට මාරුවේ දැන් ම ගිහිගෙන් ගොස් ඔවුන් නමින් පැවිදි ව ඔවුන් බුදු වූ කල බුදුසිරි බලා සසරින් ගැලවී ගනැ”යි කියා බෑනාට අනුශාසනා කොට ගියාහු ය.

නාලක කුමරුගේ පැවිද්ද

ඒ නාලක නම් බෑනණුවෝ ද පෙර තමන් පියුමතුරා නම් බුදුන් සමයෙහි ඒ බුදුන් සස්නෙහි නාළක නම් මොනෙය්‍ය පිළිවෙත් පුරන්නා වූ භික්‍ෂුකෙනෙකුන් අග්‍ර වූ සේ දැක “මම ද මතු බුදුකෙනෙකුන්ගේ ශාසනයෙක නාළක නම් පිළිවෙත් පුරන්නවුන් කෙරෙහි අග්‍ර වෙම්ව”යි එ කල දානාදී වූ පින් කොට කප් ලක්ෂයක් මුළුල්ලෙහි පුරන ලද්දා වූ ප්‍රාර්ථනා ඇති කෘතාධිකාර පුරුෂයා හෙයින් ම මයින් තාපසයන්ගේ බස් අසා සතාසූ කෙළක් ධන ඇති කුලෙහි බ්‍රාහ්මණ සාර සැපත් හැරපියා “ඒකාන්තයෙන් මාගේ මයිල් තාපසයෝ මට වැඩක් කැමතියාහ”යි සතුටු ව වීථියට යවා කසා පිළී හා මැටිපාත්‍රයක් ගෙන්වා ගෙන ඉසකේ කපා කාෂාය වස්ත්‍ර ධරා බෝසතුන් දසාවට ඇඳිලි බැඳ සිට පසඟ පිහිටුවා වැඳ “මතු බුදු වන උතුමාණෙනි! තොප උදෙසා මහණවීමි”යි කියා පාත්‍ර ය පයියේ බහා කර ලාගෙන හිමාලය වනයට ගොස් මහණදම් පුරා පසු ව මාගේ බුදුන් බුදුව බරණැස දී දම්සක් දෙසූ සත්වන දා අවුදින් බුදුන් දැක නාළක නම් පිළිවෙත් ඉගෙන සත් මසක් රූක්‍ෂ වූ ඒ පිළිවෙත් පුරා හිමාලය වනයට ගොස් ගරු වූ භාවනා කොට එකෙනෙහි රහත් ව රන්පර්වතයක් මුදුනෙහි වැඩ සිට සිටිපිය නො සොල්වා නිරූපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවියහ.

මෙසේ මාගේ බුදුහු තමන් මවුකුසින් උපන්දා ම කාළදේවල නම් සෘෂීන්ගෙන් ලබන ලද්දා වූ නමස්කාර පූජා ය, ඒ සන්තෝෂයෙහි පිය මහ රජ්ජුරුවන්ගෙන් ලබන ලද්දා වූ නමස්කාර පූජා ය. එම දා ම තමන් නමට මහණ වූ නාලක නම් මහ තෙරුන්ගෙන් ලද සම්‍යක් ප්‍රතිපත්ති පූජා ය යන මේ තුන් පූජාවක් ලත් හෙයිනුත් මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් අර්හත් නම් වන සේක.

තව ද: මෙසේ මාගේ බෝධිසත්ත්‍වයන් උපන් පස් දවසින් නම් තබන මඟුල් කරණ දා සුවඳ දියෙන් නාවා මලින් සරහා රජගෙය රත් සඳුන්, කපුරු, කොකුම්, තුවරලා යන සිවුදෑ ගඳින් පිරිබඩ ගෙන ලද පස්මල් විසුරුවා හිඳිනා අසුන් පනවා චතුර්වේදයෙහි නිපුණ වූ බ්‍රාහ්මණයන් අටතුරාසියක් ගෙන්වා පැන් නො වකා පිසූ කිරිබත් රන් තලිවලින් කවා තලි සමගින් දී, පස් පලවතින් බුලත් දි, සත්කාර කොට “ම දරුවන්ගේ ලක්‍ෂණ බලා කියව”යි නියෝග කළහ.

බුදුවන බැව් නිශ්චය කිරීම

ඔවුන් අතුරෙහි හැමදෙනාට ශිල්ප දුන් රාම ය, ධජ ය, ලක්‍ෂණ ය, [62]ජාතිමන්ත්‍රි ය, කොණ්ඩඤ්ඤ ය, භොජ ය, සුයාම ය, [63]සුදත්ත ය, යන මේ ආචාර්‍ය්‍ය බමුණන් අටදෙනා අතුරෙන් වැඩි මාලු සත්දෙන බෝසතුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූ අනුව්‍යංජන ලක්‍ෂණයන් දැක “මේ කුමර ගිහිගෙයි වෙසේ නම් චක්‍රවර්ති රජ ව. සතර මහා සෘද්ධි ඇති ව, සතර මහාද්වීපයෙහි ආකාශයෙන් ඇවිද අනුශාසනා කෙරෙයි. මහණ වී නම් ලොවුතුරා බුදුව දිව්‍යබ්‍රහ්මයන් අතින් වැඳුම් ගන්නා පින් ඇත්තේ ය යි ව්‍යාකරණ දෙකක් කියා සත්දෙන ම දෙ ඇඟිලි ඔසවා පෑහ. ඔවුන් සත්දෙනාට බාල සුදත්ත කොණ්ඩඤ්ඤ නම් බමුණු ආචාර්‍ය්‍ය තෙමේ ඌර්ණ ලෝම ධාතුව සුදුසු සේ දැක චක්‍රවර්ති වේ නම් මේ ලොම ය රන්තිලකයක් සේ තිබෙයි. බුදු වන්නාහට මකුල් තිලකයක් සේ තිබෙයි. ඒකාන්තයෙන් මේ කුමර බුදු වේ ම ය”යි කියා එකැඟිල්ලක් ඔසවා පෑහ.

එදා ඒ මගුල් පිණිස රැස් වූ බ්‍රාහ්මණයෝ මේ කුමර මතු ලොවට ද සිද්ධාර්ථ කෙරෙයි. තමාට ද සිද්ධාර්ථ කෙරෙයි කියා සිද්ධාර්ථ කුමාර යයි නම් තබා ගියහ. ගොසින් ඒ බමුණෝ අටදෙන තම තමන්ගේ ගෙයිදී පුතුන් කැඳවා කියන්නාහු, “දරුවෙනි! ශුද්ධෝදන රජ්ජුරුවන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ පන්තිස් හවුරුද්දක් ගියකල බෝමැඩ හරා බුදු වෙති. අපි ඉතා මහල්ලම්හ. තෙපි උන්ගේ සසුන් වැද මහණ ව සසරින් ගැළවෙව”යි අවවාද කීහ. ඔවුන් අතුරෙන් මහලු සත්දෙන නොබෝ කලෙකින් පරලොව ගියහ. ළදරු සුදත්ත කොණ්ඩඤ්ඤ මානවකයෝ ඉතා නිරෝගීහ. නිරෝගී හෙයින් එ කල ගිහිගෙය හැරපියා තවුස්වෙස් ගෙන දඹදිව ඇවිදිනාහු උරුවෙලා නම් දනව්වෙහි ඉසිපතන් ගොස් මේ භූමිභාගය තපස්වීන්ට රම්‍ය යයි එ තැන සිත් අලවා ‘සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ මහබිනික්මන් කරන කල් දක්වා මෙ තැන වෙසෙමි”යි වාසය කොට බෝසතුන් මහබිනික්මන් කළ බව අසා පසුව මහලු බමුණන් සත්දෙනාගේ දරුවන් කරා ගොස් “ඉදින් තොපගේ පිය බමුණෝ දැන් ඇත්තාහු වූ නම් බෝසතුන් හා සමග මහණ වෙති. ඉදින් තෙපි හැම කැමැත්තාහු වූ නම් මා හා සමග එව”යි කියා හැමදෙනා ම නො ගිවිස්නා හෙයින් භද්දිය ය, වප්ප ය, මහානාම ය, අස්සජි ය, යන සතරදෙනා ගිවිස්වා ගෙන මහණ කරවා ගෙන ගොස් මෙසේ පස්දෙනා වහන්සේ උරුවෙලා නම් දනව්වෙහි විසූ සේක. පස්වග මහණුන්ගේ උත්පත්ති කථාව මෙසේ විය යුතු.

එදා බෝධිසත්ත්‍වයන්ට නම් තබන මඟුලට රැස් වූ අසූදහසක් කුලෙහි නෑයෝ “මේ සිද්ධාර්ථ කුමාරයෝ මතු ඉදින් චක්‍රවර්තී වූ නම් ක්‍ෂත්‍රිය සේනාව ම පිරිවරා ඇවිදිති. ඉදින් බුදු වූ නම් ක්‍ෂත්‍රිය භික්‍ෂූන් ම පිරිවරා ඇවිදිති. මේ දෙ කාරණයෙන් ම අප දරුවන්ට මතු වැඩ වෙයි” සිතා අසූදහසක් ශාක්‍ය කුමරුවන් බෝසතුන් හා සමග වඩනා සේ එදා ම රජගෙයි ලා ගියහ.

කිරි මවුන් තේරීම

ඉක්බිත්තෙන් ශුද්ධෝදන රජ්ජුරුවෝ “මපුතණුවන්ට කිරි මවුන් ගෙනෙව”යි ශාක්‍ය-කෝළිය දෙ නුවරින් රජදූන් ගෙන්වා කිරිමවුන් තෝරන්නාහු ඉතා උස් වූ ගෑනුන් ඔර හිඳ කිරිබොන දරුවන් කර ඔසවා කිරිබොන හෙයින් ග්‍රීවා දික් වෙයි. ඉතා මිටිවූ ස්ත්‍රීන් ඇකයේ හිඳ කිරි බොන දරුවන් කර නමා බොන හෙයින් බද කර වෙයි. ඉතා ස්ථූල වූ ස්ත්‍රීන් ඇකයෙන් වඩනා දරුවන් බකල වූ පා වයෙි. ඉතා දුර්වල වූ ස්ත්‍රීන් වඩනා දරුවන් කලවේ සිහින් වෙයි. ඉතා එළලි වූ ස්ත්‍රීන්ගේ තනයේ කිරි හුණු වන හෙයින් හුණු කිරි පූ දරුවන් ඇඟ [64]ලවුණ ඇතිවෙයි. ඉතා කැළි වූ ස්ත්‍රීන්ගේ තනයේ කිරි සිහිල් වන හෙයින් ඇලි කිරි පූ දරුවන් ඇඟ මස් පිපිසලු වෙයි කියා මේ වරද සයින් දුරු ව උසුත් නො වන, මිටිත් නොවන, ස්ථූල ත් නො වන, දුර්වලත් නොවන, එළලි ත් නො වන, [65]කැළි ත් නො වන, ස්ත්‍රීන් ම තෝරා සියගනන් කිරිමවුන් ලූහ.

මෙසේ තරු පිරිවර සඳ සේ වැඩී මාගේ ඒ බෝසතාණන් පස්මැසි වූ කල ඒ ශුද්ධෝදන රජ්ජුරුවන්ගේ මහ පෙළහරින් යුක්ත වූ වප් මඟුලෙක් වි ය. එදා ඒ මුළුනුවර දෙව්නුවරක් සේ සරහා ඒ රජ ශක්‍රදේවේන්‍ද්‍ර ලීලායෙන් සැරහී දිව්‍යසේනාවක් බඳු වී මහ සෙනඟ පිරිවරා පායෙන් නික්මෙනුයේ පුතණුවන් රන්සිවූ ගෙයකින් වඩාගෙන එ කෙත්වත් කෙළවර ඝන වූ ඡායා හා අභිනව වූ පත්‍රයෙන් ගැවසී ගත් මහ දඹගසක් මුල සුදුවැල්ලෙන් තවරා, යහන් සලසා, පුතණුවන් ඒ යහනට වඩා, රන් තරු රිදී තරුවෙන් විසිතුරු වූ වියන් බඳවා, වටතිර අද්දා, රැකවල් ලවා, තුමූ ද ඇමැති දහස් පිරිවරා කෙත්වතට වැද වප් මගුල් කෙරෙති. එදා ඒ වප් මගුලෙහි හැමදෙන ම සුදු පිළි හැඳ, සුවඳ මලින් සැරහී, කෙත්වත පුරා සිට ගත්හ. ඒ වප් මගුලෙහි දහසක් පමණ නගුල් එකවිට ම යොදන ලද. එයින් අටතුරාසියක් නගුල් රිදී පතින් වසා ගොනුන්ගේ අංවල රිදී කුප්පි බහා කර සුදුමල් කඳු බැඳ යොදා සිටුවන ලද රජ්ජුරුවන් අතට වඩනා නඟුල ඝනරන් පතින් වසා මඞ්ගල වෘෂභරාජයන්ගේ අංවල රන්කුප්පි බහා කර රන්වන් මලින් සරහා පිට රන්සැදින් වසා යොදා සිටුවන ලද.

ඉක්බිත්තෙන් රජ්ජුරුවන් වමතින් රන් නඟුල ගෙන, දකුණතින් රන්කැවිට ගෙන, සිටගත් කල අටතුරාසියක් මඟුල් ඇමැතියෝ මඟුල්වෙස් ගෙන, රිදී නඟුල් රිදී කැවිටි ගෙන සිටගනිති. පරිවාර ජනයෝ මඟුල් වෙස් ගෙන දහසක් ගොන්ගේ යොදා සිටගනිති. රජ්ජුරුවෝ දකුණතින් රන්කැවිට ගෙන නැගෙනහිරින් බස්නාහිරට එක හීවටක් ලා ලති. එදා ඒ මඟුලෙහි රජ්ජුරුවන්ගේ මගුල් මහ ඇමැතියෝ තුන් තුන් හීවිට ලා ලති. සෙසු දහසක් පුරුෂයෝ දහසක් ගොන්ගේ ගෙන ඔවුනොවුන් පරයා දක්‍ෂව වප්මඟුල් කෙරෙති. එදා ඒ උත්සවයෙහි රජ්ජුරුවන්ගේ රන් ධජ ය, [66]රන් පැන ය, රිදී පැන ය, රන් කලස ය, රිදී කලස ය, රන් කොතලා ය, රිදී කොතලා ය, රන් කරඬු ය, රිදී කරඬු ය, රන් කැටපත ය, රිදී කැටපත ය, රන් තල්වැට ය, රිදී තල්වැට ය, යනාදි වූ රජ පෙළහරින් ඒ කෙත තරුකැලයෙන් ගැවසී ගත් ආකාශය සේ දිලියෙයි. එදා ඒ හැම කිරිමවුන් බෝසතාණන් පිරිවරා උන්නාහු තිරයෙන් පිටත් ව රජ්ජුරුවන්ගේ මේ පෙළහර බලති.

ආනාපාන සතිය වැඩීම

එ කල මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ ඇතුළෙහි කිසි කෙනකුනුත් නැති සේ දැක, යහනින් නැගී, පලක් බැඳ වැඩහිඳ, ආනාපානස්මෘති භාවනා කොට ප්‍රථමධ්‍යාන උපදවා, ධ්‍යාන සුවයෙන් උන්සේක. එවේලෙහි කිරිමවුන් ඇතුළට වැද පලක් බැඳ හුන් බෝසතාණන් දැක ඒ දඹගස ඡායාව ද පෙරවරු බස්නාහිරට නො ගොසින්, පස්වරු නැගෙනහිරට නො ගොසින් හැමවේලෙහි පිල්කුඩයක් සේ බෝසතුන් වසාගෙන සිටිනා ආශ්චර්‍ය්‍ය දැක එ කෙණෙහි රජ්ජුරුවන් කරා දිව දිව ගොස් ‘හිමි! තොපගේ මේ මගුල් තබා තොප පුතණුවන් සිද්ධාර්ථකුමාරයන්ගේ මගුලක් වහා බලව”යි කීහ.

රජ්ජුරුවෝ එ බස් අසා වප්මගුල් හැර දිව දිව අවුත් දඹගස ඡායා කිසි අතෙක නො ගොස් සිටිනා පරිදි ගස සිසාරා ඇවිද බලා විස්මය පත්ව ඇතුළට වැද ධර්‍මාසනයෙක වැඩහුන් මහ තෙර කෙනකුන් සේ, දිවි දලින් ඔප්නැගූ රන්පිළිමයක් සේ, පතුල්සුං පිට පතුල්සුං තබාගෙන අතුල්සුං පිට අතුල්සුං තබාගෙන දසදිග් නො බලා, ඇසිපිය නො මරා, නො සැලී, කරබාගෙන ප්‍රථමධ්‍යාන සුවයෙන් වැඩහුන් පස් මැසි වූ පුතණුවන් වහන්සේගේ පෙළහර බලා රජ්ජුරුවෝ පුතණුවන්ට ජීවිතය පුදාපියන්නා සේ මහමෙර සේ, පැන නැගී ප්‍රේමස්කන්‍ධය ධරාගත නො හෙන්නාහු සන්තෝෂ බාෂ්පයන් පවත්වා “පුතනුවනි! මේ කෙසේ වූ විසමයෙක් ද, දැන් ම නුඹ බුදු ව ගියේ ද, නුඹ මෑණියෝ මහාමායාදේවී අද ඇත්නම්, මේ පෙළහර දුටුවූ නම්, නුඹට තමන්ගේ ජීවිතය පුදා නො පියද්ද. මා එකලා වූ පියක්හට මෙසේ වූ සුරතල් කුමක් නිසා පානේ ද” යනාදීන් කිය කියා පුතණුවන්ගේ සිරි පතුල්සුං දෙක තමන් හිස්මුදුනෙහි තබා වැඳ, සන සනා මෙසේ දෙවන වාරයෙහි පිය මහ රජ්ජුරුවෝ මාගේ ම ස්වාමිදරු වූ, මාගේ ම ගුරු වූ, මාගේ ම මිත්‍ර වූ, මාගේ ම දෙවි වූ, මාගේ ම බඹ වූ, මාගේ ම ලෝක ස්වාමියාණන්ට නමස්කාර පූජා කළහ.

මෙසේ මාගේ බුදුරජාණෝ තමන් පස්මැසි අවස්ථාවෙහි ද ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා පිය මහ රජ්ජුරුවන් අතින් නමස්කාර පූජා ලත් හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් අර්හත් නම් වන සේක.

ඉක්බිත්තෙන් මෙසේ මාගේ ශ්‍රි මහා බෝධිසත්ත්‍වයෝ ප්‍රථම මාස චන්‍ද්‍රයා සේ රූපශ්‍රීන් විරාජමාන ව වැඩී සත් හැවිරිදි ව ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ නියෝගයෙන් විශ්වකම්ම දිව්‍යපුත්‍රයා මවා දුන් ශීතල ජල සම්පූර්ණ වූ පස්පියුමෙන් සැදී සිටි රුවන්මය වූ මඟුල් පොකුණෙහි ජල ක්‍රීඩා කොට ක්‍රමයෙන් වැඩී සොළොස් හැවිරිදි වූ දෑ ය.

රකවල් තබා ප්‍රාසාද කරවා දීම

ඉක්බිත්තෙන් ශුද්ධෝදන රජ්ජුරුවෝ බමුණන් ගෙන්වා “කෙසේ වූ පූර්වනිමිත්තක් දැක මපුතණුවෝ තපසට වලට යෙද්දැ”යි විචාළහ. බ්‍රාහ්මණයෝ කියන්නාහු “ආදි වාරයෙහි ජරා රූපයක් දකිති. දෙ වන වාරයෙහි ගිලන් රුවක් දකිති. තුන්වන වාරයෙහි මළ රුවන් දකිති. සතර වන වාරයෙහි මහණ රුවක් දැක රජය හැර ගොස් තුමූ ද මහණ වෙති”යි කීහ. රජ්ජුරුවෝ එ බස් අසා “එසේ වී නම් මපුතණුවන් බුදුවීමෙන් කම් නැත. බුදු වන දා වසවර්ති නම් මාරයෙක් යක්සෙන් ගෙන දිව ඒ ල. මුළු තුන්ලොව ම ඒ යක්‍ෂයා දැක නො බා සිටිනා එක ද සත්ත්‍වෙයක් නැත් ල. මපුතණුවන්ට එ දා ඔහුගෙන් උපද්‍රවයෙක් වී නම් නපුර. චක්‍රවර්ති වූ නම් මේ මුළු සක්වළට නායක වූ සතර මහ දිවයින ආකාශයෙන් ඇවිදිති. මපුතණුවන්ගේ චක්‍රවර්ති සම්පත් දක්නා කැමැත්තෙමි. මෙ තැන් පටන් නර ඇති එකකුත් මපුතණුවන් දැක්ක නො දෙව. ව්‍යාධිගත එකකුත් ළංවිය නො දෙව. මළ රුවකු ත් දැක්ක නො දෙව. මහණ රුවකුත් දැක්ක නො දෙව”යි නියෝග කොට නුවරට සතර දිග ගවු හමුවේ රකවල් ලවා පුතණුවන් කාමබන්‍ධනයෙන් බඳිමි යි සිතා හිමත් - ගිමන් - වසන් යන තුන් සෘතුවට සුදුසු වූ තුන්පායක් කරවා දුන්හ. එයින් එක් පායෙක් නව මල. එක් පායෙක් සත් මහල. එක් පායෙක් පස් මහල. තුන් පාය ම උස හා මහත එක සමය. ඒ ඒ සෘතුවට සුදුසු වන සේ මාල් භෙද විය.

රාජ්‍යය පාවාදීම

ඉක්බිත්තෙන් පිය මහරජ්ජුරුවෝ යශෝධරා දේවීන් පුතණුවන්ට අගමෙහෙසින් කරනු කැමැති ව උන්ගේ පියාණන් සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ට කියා යැවූහ. සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ කියන්නාහු “තමන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ නො බෝ කලෙකින් මහණවනු සඳහා රජය හැර යෙත් ල. එ දවස් මාගේ දියණියෝ වැන්දඹු වෙති. මහණ නො වන රජක්හට පාවා දෙමි”යි කියා යවූහ. බෝධිසත්ත්‍වයෝ එ පවත් අසා “මහණත් වෙම් ම ය. යශෝධරාවන් මට පාවා නුදුනහොත් රාජ්‍යය මට නො කැමැත්තේ යැ”යි කියති. යශෝධරා දේවී ද “සිද්ධාර්ථ කුමාරයෝ සෙට මහණ වෙත් නමුත් සරණෙක රැකෙම් නම් උන් කෙරේ ම රැකෙම් ම යැ”යි කියති. ශුද්ධෝදන රජ්ජුරුවෝ මේ දෙදෙනාගේ පවත් අසා තමන් ශාක්‍යකුලයට අධිපති හෙයිනුත්, නැගනියන් වැදූ දියණියන් හෙයිනුත්, හිමිකම් බැණ ගිවිස්සා මහ පෙළහරින් මඟුල් කොට යශෝධරා දේවීන් ගෙන්වා රුවන් ගොඩක් පිට සිටුවා බෝධිසත්ත්‍වයන්ට අගමෙහෙසුන් කොට පාවා දී ත්‍රිශඞ්ඛයෙන් ම දෙදෙනා මුදුනෙහි අභිෂේක ජලය වත්කොට දෙදෙනා එක විට වොටුනු පලඳවා සියලු රාජ්‍යය ම පාවා දුන්හ.

තව ද රජ්ජුරුවෝ “එකෙකි කුලෙන් එකෙකි කුමරියක් මපුතණුවන්ට අන්තඃපුර කොට සරහා එවන්නේ යැ”යි සියලු ශාක්‍ය-කෝළිය නෑයන්ට කියා යැවූහ. ශාක්‍යයෝ එ තෙපුල් අසා “ඒ සිද්ධාර්ථකුමාරයෝ ඉතා සිවුමැලියෝ ය, ඉතා ළදරුවෝය, තව දක්වා ත් එක ද ශිල්පයකුත් නූගත්හ. මතු සංග්‍රාමයෙක් වී නම් කෙසේ ජය ගනිද්ද? අපගේ දරුවන් කෙසේ ඔහු පොෂ්‍යය කෙරෙද්ද? නිශ්ශිල්පී තැනැත්තන්ට අප දරුවන් නො දෙම්හ” යි කියා යවූහ.

අෂ්ටාදශ මහා ශිල්ප සූසැට කලා හා ධනුශ්ශිල්ප

මාගේ බෝධිසත්ත්‍වයෝ නෑයන් කී පවත් අසා “මාගේ බල පරාක්‍රම හැම නෑයන්ට ම පවිමි යි සිතා “මාගේ ශිල්ප දක්නා කෙනෙක් සත් දවසකින් මා කරා රැස් වන්නේයැ”යි මුළු නුවර බෙර ලවා සත්වන දා රාජාඞ්ගනයෙහි මහ මඬුවක් කරවා මහසෙනඟ පිරිවරා හිඳගෙන ඒ එක්ලක්‍ෂ හැටදහසක් නෑයන් මධ්‍යයෙහි දහසක් යෝධයන් නහාලන බාලන මහත් වූ දුන්නක් ගෙන්වා යටි පිලාව වම් පය මාපටැඟිල්ලෙහි නිය පිට තබා උන්පාලින් නො සෙල්වී රොද්දක් නඟන්නා සේ ඒ දුන්න නඟා දුනුදිය අත් පොළාපු දෑය. ඒ ශබ්ද ඝෝෂාව දසදහසක් යොදුන් දඹදිව දොර දොර ගැසූ සෙණහඬක් සේ පැතිර ගිය. සියලු සතුන් ඇස් පිහී ගිය. හැම සිත් ඉපිල ගිය. මුළුදඹදිව් වැසියෝ “කොල! මේ කිමෙක් ද? මේ කෙසේ වූ ආශ්චර්‍ය්‍යයෙක්ද? වර්ෂාවක් නැතිව මහ සෙණක් ගසාපීයැ”යි කියමින් වෙවුලා ගියහ. ශිල්ප බලම්හ යි ආ නෑයෝ මේ ආශ්චර්‍ය්‍ය දැක “අප සිදුහත් කුමර මනුෂ්‍යයෙකැයි නො සිතව. දිව්‍යයෙක්ම යැ”යි කියා සතුටුව සාධුකාර සහස්‍රයන් පැවැත්වූහ. එ වේලෙහි බෝසතාණෝ “තව ද නො එක් ශිල්පයන් ගුරු කෙනකුන් අතින් නො ඉගෙන ශාස්ත්‍රයක් බලා නො දැන. නොඑක් නොඑක් ප්‍රකාරයෙන්ම තමන් දන්නා පරිදි නෑයන්ට අද පාමි”යි කියා ශිල්ප දන්නා ආචාර්‍ය්‍යවරුන් ගෙන්වා ඔවුන් හැම දැක්කදී: ශ්‍රැතිය, වෙදය, ව්‍යාකරණය, ඡන්‍දොලක්‍ෂ ණය, ශබ්දාර්ථය, නක්‍ෂත්‍රය, ශික්‍ෂාය, මොක්‍ෂඥානය, සිරිතය, ධනුශ්ශිල්පය, හස්තිශිල්පය, කාමතන්ත්‍රය, සාමුද්‍රිකාය, පරකථාව, නිඝණ්ටුය, නීතිය, තර්‍කය, වෛද්‍යය යන මේ අෂ්ටදශ ශිල්ප දක්වා.

තව ද තමන් විශේෂයෙන් ම ශිල්පී පරිදි හඟවන්නාහු: අක්‍ෂරය, ලිඛිතය, ගණිතය, ගාන්‍ධර්වය, තර්කය, ව්‍යාකරණය, ඡන්‍දස්ය, නිඝණ්ටුය, අලඞ්කාරය, ශාලිහොත්‍රය, මන්ත්‍රය, තන්ත්‍රය, යන්ත්‍රය, ආත්මොදය, ජ්‍යොතිර්ඥානය, ඉතිහාසය, පුරාණය, අග්නිස්තම්භය, ජලස්තම්භය, කෞමාරය, කූප ශාස්ත්‍රය, සූප ශාස්ත්‍රය, කාමශාස්ත්‍රය, ශස්ත්‍ර වින්‍යාසය, ශස්ත්‍ර කර්මය, අශ්වාරෝහණය, ගජාරෝහණය, අංකුශ්මාරණය, මාරණය, මෝහනය, ස්තම්භනය, උච්චාටනය, ත්‍රොටනය, දූර ගමනය, දූර්දර්ශනය, භේරිත්‍රොටනය, පත්‍රච්ඡේදනය, චිත්‍රකර්මය, මාලාබන්‍ධය, ගන්‍ධයුක්තිය, දූතය, භරතය, ස්ත්‍රී ලක්‍ෂණය, පුරුෂලක්‍ෂණය, නපුංසක ලක්‍ෂණය, පරහිත ඥානය, කනක පරීක්‍ෂාය, ථෙනක පරීක්‍ෂාය, චාතුර්වාදය, ධාතුවාදය, ඛීල වාදය, කන්‍යාවාදය, ආකර්ෂණය, ආකාශ ගමනය, ශීර්ෂ්‍ය කර්මය, කෘෂ්ඨ කර්මය, හේමකර්මය, රත්න පරීක්‍ෂාය, කණ්ඩරණය ශ්‍රැයාණ ය, අදෘශ්‍යකරණය, පරකාය, ප්‍රවේශනය, වෙණුවීණා වාද්‍යය, විෂහරණය යන මේ සූසැට කලා ශිල්පයන්ද විශේෂයෙන් දක්වා.

තව ද සරභඞ්ග ජාතකයෙහි බ්‍රහ්මදත්තරජහට ධනුශ්ශිල්ප දැක්වූ පරිද්දෙන් ම: ශර පවුරුය, ශර තොරණය, ශර පොකුණුය, ශර ප්‍රාසාදය, ශර රෑනය, අක්‍ෂණ වෙධිය, ශබ්ද වෙධිය, වාල වෙධිය, ශර වෙධිය, ගොඩ වීදමනය, දියෙහි විදමනය, ආකාශ විදමනය, දූර විදමනය, ආසන්න විදමනය, යපට විදමනය, තඹපට විදමනය, පිදුරු බිසි විදමනය, වැලි බිසි විදමනය, මිහං විදමනය, උදළු තැටිලි විදමනය, දිඹුල් පෝරු පියා පෝරු විදමනය, යනාදිවූ නොඑක් ධනුශ්ශිල්ප දක්වා මහත් වූ බල පරාක්‍රම පෑ මුළු ලෝ විස්මය පත් කළදෑය. මේ වික්‍රම දැක සන්තෝෂ වූ නෑයෝ තමන් තමන් දූන් සරහා සතළිස් දහසක් ශාක්‍ය කුමරියන් අන්තඃපුර කොට පාවා දුන්හ.

සතර පෙර නිමිති දැකීම

මෙසේ මාගේ බෝධිසත්ත්‍වයෝ යශෝධරා දේවීන් ප්‍රධාන වූ මේ සතලිස් දහසක් නාටකස්ත්‍රීන් පිරිවරා මාණික්‍ය ශෝභාවෙන් දිලියෙන්නා වූ කනක ප්‍රාසාද බඳුවූ, පියරජහු කරවා දුන් තුන් ප්‍රාසාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මඳහස ලැසි බැල්මෙන් පින පිනා මහත් වූ රාජ්‍යශ්‍රී සම්පත් වීදුණා කල ඒ බෝසතාණෝ එක් දවසෙක උයන්කෙළි කෙළනා කැමතිව රථාචාර්‍ය්‍යයා කැඳවා මඟුල් රථය සරහා ලවයි කී දෑය. රථාචාර්‍ය්‍යයා ‘යහපතැ’යි ගිවිස උතුම් වූ රථයක් රථාලඞ්කාරයෙන් සරහා නෙළම්පත පැහැ ඇති මඞ්ගල අශ්වරාජයන් සතරදෙනකු යොදාලා බෝසතුන්ට දැන්වීය. බෝසතාණෝ දිව්‍යරථයක් වැනිවූ ඒ රථයට පැනනැගී මහ පෙළහරින් උයනට නික්මුණු සේක. ඒ කෙණෙහි දේවතාවෝ ‘සිද්ධාර්ථ කුමාරයන් බුදුවන කල් ආසන්නය, තපසට කාරණා දක්වම්හ’යි එක් දිව්‍යපුත්‍රයකු ජරා වෙනස් ගන්වා කඩ දත් ඇතිව. නර ඉස් ඇති වක ගසාගෙන දණ්ඩක් අතින් ගෙන වෙව්ල වෙව්ලා සිටියා සේ දක්වාලූහ. ඒ ජරාරූපය බෝසතුන් හා රථාචාර්‍ය්‍යයාට පෙනෙයි. සෙස්සවුන්ට නො පෙනෙයි බෝසතාණෝ “සබඳ රථාචාර්‍ය්‍යය! මේ කෙසේවූ රූපයෙක්දැ?”යි විචාළදෑය. ස්වාමීනි! මහළු මිනිසෙකැයි කීය. මොහු මේ උපන් සැටිම දැයි විචාළ දෑය. “නැත, ස්වාමීනි! පෙර අප සේම ළදරුය. දැන් දිරා ගියේ යැ”යි කීය. තවත් මෙසේ සත්හු ලොව ඇද්දැ?යි විචාළ දෑය, ස්වාමීනි! ඉතා සුලභ යැයි කීය. මටත් මේ ජරා රූපය ඇද්දැ?යි විචාළ දෑය. සියලු සතුන්ටම ඇතැයි දෙවියන්ගේ ආනුභාවයෙන් කීය.

ඉක්බිත්තෙන් බෝධිසත්ත්‍වයෝ “මේ මනුෂ්‍යාත්මය නම් මෙසේ අනිත්‍ය දෙයක් වනැයි මේ ජීවිතයට නින්දා වේව”යි කියා අනිත් ලකුණු උපදවා මෙසේවූ ජරා ඇති මට ක්‍රීඩාවෙන් කම් නැතැයි සසර කලකිරී නැවත ප්‍රාසාදයටම වන් දෑ ය. ශුද්ධෝදන රජ්ජුරුවෝ “කුමක් නිසා මපුතණුවෝ උයනට නො ගොස් නැවත අවුදැ”යි විචාරා ජරා රූපයක් දැක කලකිරී ආ සේකැයි අසා “එබඳු රුවක් දැක මහණ වෙතියි පෙරම ඇසීමි. කොල! මා නො නසව! වහා නළු වන්දි මපුතණුවන් ක්‍රීඩාවෙන් සතුටු කරවා මහණ වීමෙහි ලෝභය නැති සේ කරව” නියෝග කොට තව ද නුවර සතර දිගින් දෙගවු දෙගව්වේ රැකවල් ලැවූහ.

තවද සාරමසක් ගිය කල පෙර සේ ම උයන් කෙළියට යනදෑ දෙවියන් මවා පෑ කුෂ්ඨයෙන් පිරීගිය ශරීර ඇති, මහ සැළ සේ උදර ඇති, [67]වන්ඩු සා සීපද ඇති, ව්‍යාධිගත වූ රූපයක් දැක පෙර සේ ම රථාචාර්‍ය්‍යයා අතින් විචාරා එදා ද සසර කලකිරී නැවත මාලිගාවට ම වැඩිසේක. එ පවත් රජ්ජුරුවෝ අසා මහත් වූ ශෝක කොට නුවර සිසාරා තුන් තුන් ගව්වේ රැකවල් ලැවූහ.

නැවත ද සාරමසක් ගිය කල උයන් කෙළියට යන දෑ එදා ද දෙවියන් මවා පෑ, කට දල්වා ගෙන ඉදිම, නිල්ව ගිය ශරීර ඇති ව, නව දොරින් නික්මෙන පණුකැලන් විසින් ආකුල වූ මෘතරූපයක් දැක, එ දවස් ද පෙර සේ ම කලකිරී උයන්කෙළියට යන ගමන් හැර ප්‍රාසාදයටම නැගි දෑ ය. එ දවස් ද රජ්ජුරුවෝ විචාරා දොම්නස් ව තව ද නුවර සිසාරා සතර සතර ගව්වේ රැකවල් ලැවූහ.

අන්තිම ගිහි ඇඳුමෙන් සැරසීම

මෙසේ තව ද සාරමසක් ගිය කල ඇසළ මැදි පොහෝ දින සම්ප්‍රාප්ත විය. බොහෝ ආයු ඇති බෝධිසත්ත්‍වයෝ මේ නිමිත්ත දක්නාහු සියක් සියක් අවුරුද්දෙන් දකිති. ආයු මඳ කාලයෙහි උපන් බෝධිසත්ත්‍වවරයෝ සාරමසින් සාරමසකට දකිති. මේ කාරණයෙන් අප මහා බෝධිසත්ත්‍වයන් ද සාරමසක් ගිය කල මෙ තුන් කාරණය දුටු සමයෙහි සතර වන ගමනෙහි මෙසේ ඇසළ මැදි පොහෝදිනය සම්ප්‍රාප්ත විය. එදා උයන් කෙළියට යනදෑ දෙවියන් මවා පෑ සකස් කොට හැඳ පෙරව වියදඬු පමණින් දුර නො බලා උපශාන්ත වූ ගුණයෙන් සැදී සිටියා වූ මහණවෙස දැක “යහළු මේ උපශාන්ත වූ වේශයකින් හොබනාහු කවුරුදැ”යි විචාරා දෙවියන්ගේ ආනුභාවයෙන් “ස්වාමීනි තපස් වෙසෙකැ”යි කී කල “මේ උපශාන්ත වූ වෙසෙක. ඒකාන්තයෙන් මේ වෙස ගත්තාහට සසරින් ගැළවීමෙක් වේමයැ” මහණ වෙසෙහි සතුටු ව එදා උයන් කෙළියට ගිය සේක.

ඒ උයනෙහි දිවාභාගයෙහි නඳුන් උයන් වන් ශක්‍රයා සේ උද්‍යාන ක්‍රීඩා කොට, මඟුල් පොකුණට බැස ජල ක්‍රීඩා කොට, හිරු හස්තගත වේලෙහි මඟුල් සලවට වැඩහිඳ සර්වාභරණයෙන් සැරසෙමි යි සිතූසේක. ඒ අදහස් දන්නා වූ ඇමැතියෝ ලක්‍ෂවටනා සළු හා සූසැට ආභරණයන් ගෙනහැර සිසාරා සිටගත්හ. ඒ කෙසේ වූ ආභරණ ද? යත්:

පාදාංගුලි, පාදජාලා, පාදාභරණ, පාදශාඞ්ඛලා, පාදසිි, ජංඝා පත්‍ර, වළලු, කෙයූරා භරණ, ඌරුජාලා, හිණ සැද, මකරපට, උදර බන්‍ධන, හස්තාංගුලි, හස්ත මුද්‍රිකා, කෛපෝට්ටු, අඞ්ගදාභරණා, ගලමුතුමාලා එකාවැළ, අවුල්හර, සද්දම්, මුතු දම්, රන් දම්, රිදී දම්, සිද්දතුදම්, පබළු දම්, කර්ණාභරණ, කර්ණාවතංස, කර්ණ කුණ්ඩල, ලලාටපට, වොටුනු යනාදි මේ සූසැට ආභරණයන් හා මල් සුවඳ විලවුන් ගෙන පිරිවරා සිට ගත්හ.

එ කෙණෙහි මාගේ ස්වාමිදරුවන් පශ්චිමභවයෙහි ලබන අලඞ්කාරය හෙයින් ශක්‍රදේවේන්‍ද්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හුනු විය. සක්දෙව්රජ පරීක්‍ෂා කරනුයේ බෝසතාණන් මහණ වනදා පශ්චිමාලඞ්කාරයැ යි දැක විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා කැඳවා “යහළු විශ්වකර්‍ම දිව්‍යපුත්‍රය! සිද්ධාර්ථ කුමාරයෝ අද මධ්‍යම රාත්‍රියෙහි මහබිනික්මන් කොට සෙට අලුයම මහණ වෙති. මේ උන්ගේ පශ්චිම වූ මහණ පූජාලඞ්කාර ය. තෝ ගොස් ඒ මහාපුරුෂයා දිව්‍යාභරණයෙන් සරහාලව”යි නියෝග කෙළේ ය. එ කල විශ්වකර්‍මයා දිව්‍යානුභාවයෙන් ඇසිල්ලකින් අවුදින් මගුල් කපු වෙසක් ගෙන කපුවා අත තුබූ වෙළුම් සළුව ගෙන බෝසතාණන් සිරස වෙළී ය. එ වේලෙහි බෝසතාණන් ඔහුගේ අත දිව පහස් දැන “මේ මනුෂ්‍යයෙක් නො වෙයි. ඒකාන්තයෙන් මේ දේවතාවෙක් ම යැ”යි දත්සේක. ඒ විශ්වකර්ම දිව්‍යපුත්‍රයා එදා සරහනුයේ අකුළාලූ කල තලමල් තුඹ මල් සා ඇති විදාපි කල සයොදුන් දොළොස් යොදුන් සා ඇති දිවසළු දහසක් පටින් සිරස වෙළා මිණි වොටුනු පළඳවා දිව්‍යාභරණයෙන් අලඞ්කෘත කෙළේ ය. මෙසේ බෝසතුන් මහණ වනදා ඒ විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා එදා කළා වූ අලඞ්කාර පරම්පරාව දැන් දක්වා සසුන් වැද මහණ වන්නවුන්ට ව්‍යවහාර වී යැ යි දතයුතු.

රහල් කුමරු ඉපදීම

ඉක්බිත්තෙන් මෙසේ සැරහුම් ලදින් වැඩහුන් කල ආතත විතතාදි වූ පඤ්චාංගික තූර්‍ය්‍ය නාදයන් පවත්වා මහත් වූ උත්සව වී ය. බ්‍රාහ්මණයෝ ජය නන්‍දාදි මඞ්ගල ස්තුතියට පටන් ගත්හ. එ කෙණෙහි පාණ්ඩුකම්බල ශෛලාසනයෙන් පැනනැගී ශක්‍ර දේවේන්‍ද්‍රයා සේ බෝසතාණෝ මගුල් සල වටින් පැනනැගී රථාලඞ්කාරයෙන් හෙබියා වූ මඟුල් රථයට පැන නැගී සිටගත් සේක. එ කෙණෙහි යශෝධරා නම් අගබිසෝ රුවන් කුසින් රාහුල නම් පුත්රුවන පහළ විය.

එකල ශුද්ධෝදන රජ්ජුරුවෝ යෙහෙළනියන් පුතකු වැදූහ යි අසා “එතෙකින් මපුතණුවන් දරුමලින් බැඳ ගමනරඳවා ගනිමි යි මහණ විය නො දෙමි යි මට වූයේ අනුබලයෙකැ”යි ඉතා සතුටු ව “ම පුතණුවන්ට සතුටු හසුන් කියව”යි අමාත්‍යයන් මඟුල් වෙස් ගෙන්වා බෝසතුන් කරා යවුවාහු ය. එ වේලෙහි අමාත්‍යයෝ දිව දිව ගොස් “හිමි! තොප හා එක්වැනි වූ පුතනු කෙනෙක් උපන්හ”යි බෝසතුන්ට දැන්වූහ. බෝසතාණෝ එ බස් අසා “රාහුලයෙක් උපන, ඒ මට ගිහිබන්‍ධන යැ”යි කී සේක. ශුද්ධෝදන රජ්ජුරුවෝ මපුතණුවෝ කුමක් කිවූ දෝ හෝ යි විචාරා “රාහුලො ජාතො” යි කී සේකැයි අසා මෙ තැන් පටන් මාගේ මුනුබුරාණෝ රාහුලයෝ යයි නම් දුන්හ.

කිසාගෝතමී නිබ්බුතපද කීම

ඉක්බිත්තෙන් බෝධිසත්ත්‍වයෝ “මිනිස්ලොව උපන්නාහට දරුකෙනෙකුන් ලැබීම නම් ඉතා උගහටය. ඉනුත් පුතකු ලැබීම නම් ඊටත් වඩා උගහටය. දැන් ම මහණ වන්නට නො ගොස් රජ ගෙට ගොසින් ම පුතුන් දැකපියා රාත්‍රිභාගයෙහි මහබිනික්මන් කෙරෙමි”යි සිතා මහත් වූ ශ්‍රීහස්තයෙන් නුවරට වැද ශක්‍ර දේවේන්‍ද්‍ර ලීලායෙන් රජගෙට නික්මුනුදෑය. එ වේලෙහි කිසාගෝතමී නම් බැදෑ බිසොවක් බෝසතුන් වීථියෙහි වඩනා ලීලා හා ඓශ්චර්‍ය්‍යය දැක ඉතා කුල්මත් ව ඇතුළු ගෙයි ගින්ද නොහී මතු මාලේ සිංහපඤ්ජරයෙහි දොර හැර බෝසතුන්ගේ රූපලීලා දැක නිල්වලා ගබකින් චන්ද්‍රමුඛයක් පෑවා සේ සිංහපඤ්ජර මුඛයෙන් තමාගේ මුඛය බෝසතුන්ගේ අභිමුඛයට දක්වාලා:

නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතො නූන සො පිතා,

නිබ්බුතා නූන සා නාරි - යස්සායං ඊදිසො පතී’යි

යන මේ ගය කියා “සිද්ධාර්ථ නම් [68]පුරුෂයාණනි! අද තොප මෑණියන්ගේ ද සිත නිවී ගිය. තොපගේ මේ ශ්‍රී දුටු පියාණන්ගේ ද සිත නිවී ගිය. යම් ස්ත්‍රියක් තොපගේ ශරීර පහස් ලද්දා නම් ඇගේ ද සිත නිවී ගියේ යැ”යි යන බිසොවුන් කී තෙපුල් අසා “මම ත් නිවන් සොයමි. මෙයිත් නිවී ගියැ යි යන සේ කිය යි. මට මෝ ප්‍රිය බස් කියයි. අද ම මා ගිහිගෙය හැර ගොස් මහණ වුව මැනවැ”යි සතුටු ව “මට ප්‍රියතෙපුල් කී වියට ප්‍රිය වස්තුවකින් පූජා කෙරෙමි”යි කර තුබූ ලක්‍ෂයක් වටනා මුතුහර ගළවා ඒ කිසාගෝතමීන්ට යවුදෑ ය. කිසාගෝතමී මුතුහර දැක “සිද්ධාර්ථ කුමාරයෝ මා කෙරෙහි ප්‍රේමයෙන් කර තුබූ මුතුහර එවාපූ ය. ඒකාන්තයෙන් මා කෙරෙහි ප්‍රතිබද්ධ වූ සිත් ඇත්තාහු ය. යශෝධරා දේවීන් සේ ම මාත් අගමෙහෙසුන් කෙරෙති”යි සිතූහ.

ඉක්බිත්තෙන් බෝධිසත්ත්‍වයෝ මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් ප්‍රාසාදයට නැගී ශ්‍රී යහනෙහි සැතපුනු සේක. එ කෙණෙහි රජගෙය සුවඳතෙල් වැට පහනින් ඒකාලෝක කළහ. සර්වාලඞ්කාරයෙන් සැරහුනා වූ නෘත්‍ය ගීත වාදයයෙහි දක්‍ෂ වූ දේව ගණන් බඳු රූ ඇති සතලිස් දහසක් නාටක ස්ත්‍රීහු පිරිවරා ගත්හ. එයින් සමහරු නටති. සමහරු ගී කියති. සමහරු වංගි පිඹිති. සමහරු වීණා ගාති. සමහරු අත්තල ඵලති. සමහරු වස්කුලල් පිඹිති. සමහරු නෘත්‍යාඞ්ග දක්වති. සමහරු ලීලා දක්වති. සමහරු වයති. යනාදීන් ක්‍රීඩාවට පටන් ගත්හ. බෝසතාණෝ කෙලෙසුන් කෙරෙහි විරක්ත වූ සිතින් ඒ ක්‍රීඩායෙහි සිත් නො ලා අනික් ඇලයෙන් නැමී නිද්‍රාවට පටන්ගත්හ. ඒ ස්ත්‍රීහු බෝසතුන් නිදන සේ දැක “නිකම් නටා වෙහෙසුණු කිම් දැ”යි තූර්‍ය්‍ය භාණ්ඩයන් බිම තබා එම බෙරෙහි හිස තබා සිටි සිටි තෙන වැද හෙව නිදන්නාහු ය. ප්‍රදීපාලෝකයෙන් ඒකාලෝකම ය. බෝසතාණෝ යහනින් නැගී වැඩහිඳ ස්ත්‍රීන්ගේ නොයෙක් විකාර දුටුදෑ ය. සමහරු කුණු කෙළ ධාරා වගුරුවති. සමහරු දත් කති. සමහරු තලු ගසකි. සමහරු නන් දොටති. සමහරු අපගත වස්ත්‍රව කෝපීන ස්ථාන දක්වති. බෝධිසත්ත්‍වයෝ මොවුන්ගේ විප්‍රකාර දැක කාමයෙහි අතිශයින් ලෝභ නැති ව “මේ ස්ත්‍රීහු පෙරයම් වේලෙහි දිව්‍යාඞ්ගනාවන් සේ සිටියාහු ය. දැන් මෘත රූප වැනියාහු යැ යි සසර කලකිරී එ තැන නොයෙක් කුණපයෙන් පිරුණාවූ අමුසොහොනක් සේ වැටහින. තුන් භවය ම ගිනි ගත් ගෙවල් සේ සිතින.

මහණවන්ට පිටත්ව යාම

මේ සසර හුනු සත්ත්‍වයාට ඉතා උපද්‍රවයෙක් වී ය. ඉතා පරිහානි වී යැ”යි උදාන පවත්වා අතිශයින් ම මහණ වීමෙහි සිත නැමී “දැන් ම මා නික්මුණ මැනවැ”යි සිතා යහනින් නැඟීලා පද සලකුණු නො දී ම සෙමෙන් සෙමෙන් රන් බාව කරා ගොස් මෙ තැන කවරෙක් දැයි විචාළ දෑ ය. එදා රෑ හිණිගබඩායෙහි එළිපත හිස තබාගෙන වැදහොත්තාවූ ඡන්න නම් අමාත්‍යයා “ස්වාමීනි! මම ඡන්නය” කීය. “යාළු ඡන්නය! දැන් ම මම මහබිනික්මන් කරනු කැමැත්තෙමි. කිසි කෙනකුන්ටත් නො හඟවා මඟුලසු සරහා වහා ගෙනෙව”යි කී දෑ ය. ඒ “මැනව ස්වාමීනි”යි කියා අශ්වාලඞ්කාර ගෙන දහස් ගණන් අසුන් සිටිනා අශ්වශාලාවට ගොස් සුවඳ වැට පහනින් දිලිහි දිලිහී සමන් මල් වියනක් යට බුමුතුරුණු පිට අස්රජ සිරින් සිටියා වූ කන්ථක නම් අශ්වරාජයා දැක මේ අසු සරහමි යි සිතාලා ඒ අශ්වයා සරහාලී ය. ඒ අශ්වරාජයා තමා සරහන වේලෙහි ම සිතනුයේ “මේ සැරහුම නො දැඩි ය. මෙතෙක් දා උයන් කෙලි ආදියට මාගේ ස්වාමීහු වඩින ක යොදන යෙදීමෙක් නො වෙයි. අද රාත්‍රියෙහි සොරා ම යොදති. මාගේ ස්වාමිදරුවාණෝ දැන් ම මහබිනික්මන් කෙරෙත් වනැ යි. බොහෝ කලක් මා පුරා ආවා වූ මාගේ ප්‍රාර්ථනාව ද අද කුළු ගන්නා වනැ”යි ඉතා සන්තුෂ්ට වූයේ මහත් කොට හේෂාරව කෙළේ ය. ඒ ශබ්දය මුළුනුවර පැතිර ගි ය. දේවතාවෝ ඒ ශබ්දය සඟවා කිසිකෙනකුන් කණ හි ය නුදුන්හ.

එ කල බෝධිසත්ත්‍වයෝ අමාත්‍යයා අශ්වශාලාවට යවාලා “පුතණුවන් දැක පියා යෙමි”යි සිතා යශෝධරා දේවීන් වසන ශ්‍රී යහන් ගබඩාවට ගොස් දොර හරපි දෑ ය. එ වේලෙහි ගර්‍භාන්තරයෙහි සුවඳ වැට පහන් සතර දිග දිලියෙයි. යශෝධරා දේවී අමුණක් සමන් මලින් තැනූ යහන් මතුයෙහි හෙව නාරිලතායෙන් නිකුත් රුවන් දළුවක් සේ පුතණුවන් බඩ දීගෙන ලෙහි අත තබා ලා නිදන්නාහු ය. බෝසතාණෝ එ වේලෙහි රන්බාව අතින් අල්වා ගෙන දකුණු පය එළිපත මත්තෙහි තබා සිට ගර්‍භාන්තරය බලා පුතණුවන්ගේ රූ හා දේවීන්ගේ ශෝභා දැක දරුවන් වඩාගෙන සිඹ සනහා පියමි”යි සිතාලා “දේවීන් අත පහ කොට පියා දරුවන් ඇල්ලීම් නම් යශෝධරා දේවී පිබිද යෙති. උන් හා සමග කථායෙක් වී නම් මා කාමබන්‍ධනයෙන් බැඳ මහබිනික්මන් කොට ගත නොදී ගමනාන්තරාය කෙරෙති”යි සිතා “මතු බුදු ව ආ දා ම දරුවන් දැක පියමි සිතා “දැන් මේ එක දරුකෙනකුන් කෙරෙහි කළා වූ ප්‍රේමයෙන් මහණ නො වීම් නම් මතු මුළුලෝ වැසියන් හැම නො වරදවා කෙසේ දරු කොට ගනිම් ද, සංසාර සාගරයෙහි ගොඩ නො දක්නා අපමණ වූ සත්ත්‍වයෝ කවුරුන් මුහුණ බලා ගැළවෙද්ද?” යනාදීන් සියලු සතුන් කෙරෙහි උපන් මහා කරුණා ඇති ව, පුතණුවන් කරා දිවූ ප්‍රේම නමැති මහවතුර තමන් වහන්සේගේ සාරාසඞ්ඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි නො කඩ කොට තිබුවා වූ ධෛර්‍ය්‍ය පාරමිතා නමැති මහ මයරින් රඳවා මහමෙරක් ඔසවන පුරුෂයකු මහත් වූ උත්සාහයෙන් ඔසවන්නා සේ, එළිපත තුබූ පය මහත් වූ වීර්‍ය්‍යයෙන් හයාගෙන ප්‍රාසාදයෙන් බැස අශ්වයා කරා ගොස් පිට අත ගසා ඕහට මෙසේ කී සේක. “යහළු කන්‍ථක ය! අද එක රෑ තෝ මා ගළවව. මම මාගේ සහායයෙන් ගොස් බුදු ව තා ඇතුළු ව බොහෝ දිව්‍ය මනුෂ්‍යයන් සසරින් ගළවමි”යි කියාලා ඒ අශ්වරාජයා පිටට පැන නැගි දෑ ය.

ඒ අශ්වරාජයාගේ ග්‍රීව ය පටන් වාලධිය දක්වා අටළොස් රියන් දිග ඇත්තේ ය. දිගට සුදුසු වූ උස ඇත්තේ ය. ඉතා සුදු ය. පිරිසිදු වූ සකක් වැන්නේ ය. මහත් වූ බල හා දව ඇත්තේ ය. ඉදින් හේෂාරවයක් කෙරේ නම් කුරපහර දේ නම් හැම නුවර වෙවුල්වාපි ය යි. එසේ හෙයින් කිසි අරගලයක් නො වන සේ නැගු නැගු කුරපහරින් කුරපහරට දෙවියෝ අතුල්තල දුන්හ. බෝසතාණෝ ඒ අශ්වරාජයා පිට හිඳ ඡන්න නම් අමාත්‍යයා ලවා අසු වාලධිය ගන්වා එදා රෑ වූ පසළොස් පැය ගිය වේලෙහි මහ වාසල්දොරට පැමිණිදෑය. එ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ පුතණුවන් නො වේලෙක සොරා පලා යෙතියි දහසක් යෝධයන් වසාලන දහසක් යෝධයන් හයාලන, [69]බිලියලන දොර දෙකක් ලැවූහ. දහස් ගණන් යෝධයෝ රැකවල් ගෙන නිදන්නාහුය.

මාගේ බෝධිසත්ත්‍වයෝ ඉතා බලසම්පන්න සේක. දශබලධාරී දෑය නාරායණ බලයෙන් ඡද්දන්ත හස්තින් දසදෙනෙක් හට බල ඇතිසේක. උපෝසථ කුලයෙන් සියක් ඇතුන්ට බල ඇතිසේක. හෙම කුලයෙන් දහසක් ඇතුන්ට බල ඇතිසේක. මඞ්ගල කුලයෙන් දසදහසක් ඇතුන්ට බල ඇතිසේක. ගන්‍ධ කුලයෙන් ලක්‍ෂයක් ඇතුන්ට බල ඇතිසේක. පිඞ්ගල කුලයෙන් දසලක්‍ෂයක් ඇතුන්ට බල ඇතිසේක. තම්බ කුලයෙන් කෙළක් ඇතුන්ට බල ඇතිසේක. පණ්ඩර කුලයෙන් දසකෙළක් ඇතුන්ට බල ඇතිසේක. ගඞ්ගෙය්‍ය කුලයෙන් කෙළසියයක් ඇතුන්ට බල ඇතිසේක. කාලාවක කුලයෙන් කෙළ දහසක් ඇතුන්ට බල ඇතිසේක. මධ්‍යම පුරුෂ ගණනායෙන් දසකෙළදහසක් පුරුෂයන්ට බල ඇතිසේක. මෙසේ එකොළොස් දහස් එකසිය එකොළොස් කෙළ එකොළොස් ලක්‍ෂ එකොළොස් දහස් එක්සිය දසමහා බලධාරී සේක.

ඉදින් දොර නො හැරේ නමුත් “ඡන්නයා අසු වල්ගය අල්වාගත දී අසූ දෙකලනේ බදාගෙන අටළොස් රියන් මහ පවුර ගරුඩ රාජයකුසේ පැන දමාපියමි”යි සිතූ සේක. අමාත්‍යයා සිතන්නේ “ඉදින් දොර නො හැරේ නම් මාගේ ස්වාමිදරුවන් දකුණු දසරුවෙහි හිඳුවාගෙන අශ්වරාජයා සකක් සේවම අත්ලෙහි තබාගෙන කිසි අරගලයක් නො කොට පවුර පැනපියා මම් ම ගෙන යෙමි”යි සිතීය. කන්ථක නම් අශ්වරාජයා සිතන්නේ “ඉදින් දොර නො හැරේ නම් අමාත්‍යයා වල්ගය ගතදීම, මාගේ ස්වාමියා පිට වැඩඉන්දදීම, මේ ප්‍රාකාරය සිංහයකු සේ පැන පියා අද ගෙන යෙමි”යි සිතීය. ඉදින් දොර නො හැරුණේ වී නම් මේ තුන්දෙනම තමන් තමන් සිතු සිතූ සේම පැන පලා යන බල ඇත්තාහ. එ කෙණෙහි වාසය අරක්ගත් දෙවියෝ “මතු අපට නිවන් දොර හැර දී ලුව මැනවැ”යි සතුටු පඬුරු දුන්නාසේ වාසන් දොර හැරපීහ.

වසවත්මරුගේ පැමිණීම

එ කෙනෙහි වශවර්තිමාරයා ‘සිදුහත් කුමර අද මෙ දොරින් පිටත් වී නම් ගොසින් ඒකාන්තයෙන් බුදු වෙයි. බුදු වී නම් එදවස් මාගේ නරකවල ගිනි නිවයි. හැම නරක හිස් කෙරෙයි. හැම සතුන්ම දෙව්ලෝ පුරයි. මට බොහෝ හානි කෙරෙයි. මායමක් කියා ඔහු අද යා නො දෙමි’ යි සිතාලා දිව දිව අවුත් නුවර දොර ආකාශයෙහි සිට:

“මා නික්ඛම මහාවීර - ඉතො තෙ සත්තමෙ දිනෙ,

දිබ්බන්තු චක්කරතනං - අද්ධා පාතු භවිස්සති”යි.

යන මේ ගාථාව කියා “නො යව, සිද්ධාර්ථ කුමාරයෙනි! සත් දවසක් ගිය කල තොපට චක්‍රවර්තිරුවන පහළ වෙයි. සතර මහා ද්වීපය හා දෙදහසක් කොදෙව්වලින් පිරුණා වූ මේ සක්වළ ගබ මුළුල්ලෙහි ම ඒකාධිපත්‍යයෙන් චක්‍රවර්ති රාජ්‍යය කරව. යහළු නො යව නොයව”යි කී ය. බෝධිසත්ත්‍වයෝ මාරයා දැක “තෝ කවරෙක්දැ”යි විචාළ දෑ ය. මර දෙව්පුත් කියනුයේ “මම එසේ මෙසේ එකෙකිම් නො වෙමි. සවන පරනිර්මිත වශවර්ත්ති දිව්‍ය ලෝකයෙහි මාර දිව්‍යපුත්‍රයා නම් මම ය. මා කීවා කරව”යි කී ය. බෝසතාණෝ එ බස් අදා “තා සේ වූ මාරයෝ සියයෙක් දහසෙක් ලක්‍ෂයෙකුත් අද මා රඳවා ගත නො හෙති”යි කියාලා:-

මාර ජානාමාතිට්ඨ මය්හං චක්ඛුස්ස සම්භවං,

අනත්‍ථි කොහං රාජ්ජන තිට්ඨ ත්‍වං මාර මා ඉධ යි.

යනාදීන් ගර්ජනා කොට “දසදහසක් සක්වළ ගුගුරුවා ලොවුතුරා බුදුව දම්සක් පවත්වමියි මට තාගේ සක්රුවනින් කම් නැත. තෝ මෙතැන නො රඳා පලා යා”යි කී සේක. එ වසවත් මර එ බස් අසා ආකාශයෙහි සිට බෝසතුන්ට දත් කකා “මතු තා බුදු වන ලෙස් බලමියි මෙතැන් පටන් ගෙන කාම විතර්කයක් හෝ, ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ, සිතූ විටෙක තට නිහඬ දනිමි”යි කියා ඡායාවක් සේ ළඟ සිටගෙන ඒ සාවුරුද්ද මුළුල්ලෙහිත් අවකාශයක් බලා නො දැක, බුදු වන දා ද මහත් වූ යක්‍ෂ සේනාව හැරගෙන දිව පැරද ගොසිනුත්, බුදුවූ හවුරුද්දක් මුළුල්ලෙහිත්, බුදුන් සමීපයෙන් දුරු නො ව මෙසේ සත් හවුරුද්දක් බුදුන් හා සමග ඇවිද්දේමය.

ඉක්බිත්තෙන් අනන්‍ය සාධාරණොත්තම වූ සුරහණීමණිරත්නාලඞ්කෘත විශුද්ධ බුද්ධාංකුර මාගේ ශ්‍රීමහාබෝධිසත්ත්‍වයෝ සත් දවසෙකින් ලැබෙනා චක්‍රවර්ති රාජ්‍යය අලුයම දැමූ කෙළපිඩක් සේ දරු නො කොට හැරපියා මහත් සත්කාරයෙන් නුවරින් පිටත් වූ සේක. මෙසේ ඇසළමස මැදි පොහෝදා උතුරුසළ නකතින් එදා මධ්‍යම රාත්‍රියෙහි මහබිනික්මන් කොට නික්මිලා නුවර බලාපියනු කැමැති වූ සේක. එකෙණෙහි මහ පොළොව කුඹල් සකක් සේ පෙරළී බෝසතාණන්ට නුවර දක්වාලීය. ඒ ස්ථානය කන්ථක නිවත්ත නම් චේතියක් මතු වන්නේ ය යි සලකුණු දීලා වඩනාලද මාර්ග මුඛයට ම අශ්වරාජයා විහිදුවා ගමන් ගත් සේක.

දෙවි බඹුන්ගේ පූජා

එ කෙණෙහි ඉතා මහත් වූ සත්කාරයෙන් මහත් වූ ශ්‍රී සෞභාග්‍යෙයන් දසදහසක් සක්වළ සැටදහසක් කාමාවචර දිව්‍ය ලෝකවල දෙවියෝ “අපගේ ස්වාමියා මහබිනික්මන් කෙරෙයි. ඕහට අද රෑ අඳුරු දුරු කොට මහබිනික්මන් පූජා කරම්හ”යි දඬුවැට පහන් ගෙන සිටියහ. දකුණැලයෙන් සැටදහසක් පහන් ගෙන සිටියහ. වම්ඇලයෙන් ද සැටදහසක් පහන් ගෙන සිටියහ. පිටිපස්සෙන් ද සැටදහසක් පහන් ගෙන සිටියහ. සෙසු දෙවියෝ සක්වළගබ වසා උරවටින් උරවට ගසා මිණිදඬුවැට පහන් ගෙන සිටියහ. එදා රෑ මාගේ ස්වාමිදරුවානන්ට දෙවියන් පිදූ පහන් පූජාවෙන් මේ සා සක්වළගබ මුළුල්ලෙහි කුරු කුහුඹුවන් සා සත්තුත් ඔවුනොවුන්ට පෙනෙන්නාහු ම ය. අඳුරෙන් වැසෙන්නා වූ අල්ලක් සා අවකාශයෙකුත් කිසිතැනෙකත්[70] නැත්මය. මෙසේ සක්වළගබ ඒකාලෝක වූ වේලෙහි සෙසු දෙවියෝ ද. නාගයෝ ද, ගරුඬයෝ ද, ගන්‍ධර්වයෝ ද, දිවමලින් දිවගඳින් දිවසුන්නෙන් දිවදුමින් පූජා කෙරෙති. දෙවියන් දමන පරසතු මලින් හා මදාරා මලින් හා අසුරයන් දමන පළොල් මලින් හා නයින් දමන කඩුපුල් මලින් හා ආකාශයෙහි අතුරු නැති ව ඝන මහා වර්ෂාවක් සේ මල්ධාරාවෙන් වතුරු වී ය.

තව ද, පඤ්චාංගික තූර්‍ය්‍ය ගෙන දිව ආ ගාන්‍ධර්ව දෙවියෝ ඉදිරියේ අටසැට දහසක් තූර්‍ය්‍යනාදයන් පැවැත්වූහ. දකුණත් පස අටසැටදහසක් තූර්‍ය්‍ය නාද පවත්වා පූජා කෙරෙති. වමත් පස අටසැටදහසක් දිව්‍යභේරිනාද පවත්වා පූජා කෙරෙති. පිටිපස්සෙන් අටසැටදහසක් භේරිනාද පූජා කෙරෙති. අවශේෂ වූ ගන්‍ධර්වයෝ සිටිනා අනික් අවකාශයක් නැති හෙයින් සක්වළගබ මුවවිට සිසාරා සිටගත්හ. ඒ දිව්‍යෙභේරි ඝෝෂාව සමුද්‍ර මධ්‍යයෙහි මහා මේඝ නාදයක් සේ, යුගන්‍ධර පර්වතයෙහි වැදගන්නා රළ හඬ සේ, පොළොව පටන් ගෙන අකනිටා බඹලොව දක්වා පූජා ඝෝෂාවෙන් එක නින්නාද විය. මෙසේ දසදහසක් සක්වළ දෙවියන් කරන මසත් වූ පූජා විඳුනා වූ මාගේ බෝධිසත්ත්‍වයන් වහන්සේ එදා රෑ තිබූ පසළොස් පැය දෑතුරෙහි තුන් රාජ්‍යයක් ගෙවා තිස් යොදනක් ගොස් අනෝමා නම් ගංතෙරට අලුයම් වේලෙහි පැමිණිසේක. ඒ අශ්වරාජයාගේ දිව එතෙක්ම දැයි යතහොත්, ඉදින් දිවේ නම් සතිස් ලක්‍ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් සක්වළගබ සිසාරා බමරක් නැටුවා සේ ඇසිල්ලකින් දිවපියා දහවල් බතට වාසයට එන තරම් දව ඇත්තේය. එදා දිව්‍ය බ්‍රහ්ම අසුර නාග සුපර්ණන ගන්‍ධර්වාදීන් දමනලද සුවඳින් මලින් මග අතුරු නැත්තෙන් මල් වැසි පිහිරා දුවනුයේ ලස්ව තිස් යොදනක් ගියේ ය යි දතයුතු.

මෙසේ මාගේ ඒ ස්වාමිදරුවෝ තමන් බුදු වෙමි යි නික්මුණු පමණකින් දසදහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මාදීන් කරනලද සංඛ්‍යා පථයට විෂයවූ ප්‍රදීප තූර්‍ය්‍යාදී වූ, පස්ලක්‍ෂ දොළොස් දහසක් මහා පූජා ලත් හෙයිනුත් අවශේෂ වූ අසඞ්ඛ්‍ය ගණන් පූජා එම දා මලත් හෙයිනුත් මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් කරුණා නිධාන වූ කරුණාකර වූ කරුණා ප්‍රවාහ වූ, කරුණා ගඞ්ගා වූ කරුණා ගෘහ වූ කරුණා ස්ථාන වූ කරුණා සමුද්‍ර වූ කරුණා පුඤ්ජ වූ කරුණා ස්වාමි වූ, කරුණා නාථ වූ මාගේ සර්‍වඥරාජයාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි.

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්‍ථානුරූපං අරහංති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතංයි.

මේ පූජාවලියෙහි අප බුදුන් පැවිදි වනදා ලද

මහබිනික්මන් පූජා කථා නම් වූ දස වන පරිච්ඡේදය නිමි.

11. බෝධිමණ්ඩල පූජා

තව ද: අප බුදුන් බුදු වන දා ලද බෝධිමණ්ඩල පූජා නම් කවරහ? යත්;

මෙසේ මාගේ බෝධිසත්ත්‍වයෝ එදා රෑ නුවරින් නික්ම මහත් වූ පූජා ලදින් වැඩ එ ගංතෙර අසු රඳවාලා “මේ කිනම් ගඟෙක් දැ”යි අමාත්‍යයා අතින් විචාළ දෑ ය. අමාත්‍යයා “ස්වාමීනි! මේ ගඟ අනෝමා නමැ”යි කී ය. “මාගේ පැවිද්ද ත් අනෝම යයි අලාමක යැ”යි ගඟ නම අසා සතුටු ව අශ්වයාට ගඟ පැනයි විළුඹෙන් සන් කළදෑ ය. අශ්වරාජයා වාලධිය ගත් ඡන්න නම් අමාත්‍යයා සා සමග අටසියයක් රියන් පළල ඇති ගඟ පැන රිදී පවක් වන් වැලිතලායෙහි රිදී පිඬක් සේ සිටියේය. බෝධිසත්ත්‍වයෝ අසුපිටින් බැස මුතුරැසක් වන් ඒ වැලිතලායෙහි සිට ඡන්න නම් අමාත්‍යයා ළඟට කැඳවාලා: “යහළු ඡන්නය තෝ මා පලන් ආභරණ හා මේ අශ්වයාත් නුවරට ගෙන යව. මම මහණ වෙමි”යි කී දෑ ය. ඇමැති ස්වාමීනි මම ද මහණ වෙමි යි කී ය. බෝසතාණෝ කියන්නාහු: තට දැන් පැවිදි නොලැබෙයි. තා මහණ වූවෝතින් මේ ආභරණත් නස්සී. අශ්වයාත් එකලා වෙයි. මපියාණන් හා යශෝධරා දේවීන් හා මා පැවිදි වූ ලෙස නො දනිති. එසේ හෙයින් දැනට තෝ යා. පසුව තා මහණ කරවා ගනිමි”යි තුන්විටක් කියා වැළකූදෑ ය.

මේ ඡන්න නම් අමාත්‍යයා නම් “බුදුකෙනකුන් කාමබන්‍ධනයෙන් ගැළවීමෙහි අනුබල වෙමි”යි කප් ලක්‍ෂයක් කරන ලද ප්‍රාර්ථනා ඇතියේ ය. තෙසු කප් තබා මෙම කප මාගේ බුදුන් ස්වර්ණමෘග ජාතකයෙහි රන්වන් මුවරජ ව ඉපැද මල බැඳි ගිය දා දැක ප්‍රේම උපදවා ඒ මලින් ද ගළවා හැර සිත් සේ වල ඇවිදුනාවන් කෙළේ ය. තව ද: මෙම ඡන්න නම් අමාත්‍යයා මාගේ බුදුන් රෝහන්ත නම් මෘගජාතකයෙහි රෝහන්ත නම් මුවරජ ව ඉපැද මල බැඳි ගිය දා දැක ප්‍රේම උපදවා ඒ මලින් ද ගළවා හැර සිත් සේ වල ඇවිදුනාවන් කෙළේ ය. තව ද: මෙම ඡන්න නම් අමාත්‍යයා සාලිකේදාර ජාතකයෙහි මාගේ බුදුන් ගිරා රජ ව උපන් සමයෙහි හැල්කෙත දී බැඳී ගිය දා දැක ප්‍රේම උපදවා ඒ මලින් ද ගළවා පීඩාවක් නො කොට සාලින්‍දය නම් බමුණා අතට හැර මහත් වූ උපකාර කැරවීය. තව ද: මෙම ඡන්න නම් අමාත්‍යයා ස්වර්ණමයූර ජාතකයෙහි රන්වන් මොනර ව දණ්ඩකීහිරඤ්ඤ නම් පර්වතයෙහි වාසයකොට සසියයක් හවුරුදු ගිය කල මලෙහි බැඳි ගිය දා දැක ප්‍රේම උපදවා කිසි පීඩාවක් නොකොට ඒ මලින් ද ගළවා හැර සිත් සේ ඇවිදුනාවන් කෙළේ ය. තව ද: මෙම ඡන්න නම් අමාත්‍යයා චුල්ලහංස ජාතකයෙහි මාගේ බුදුන් ශ්වෙත හංස රාජ ව උපන් සමයෙහි මලෙහි බැඳුනු දා පීඩාවක් නොකොට ඒ මලින් ද ගළවා ලී ය. තවද: මෙම ඡන්න නම් අමාත්‍යයා මහාහංස ජාතකයෙහි මාගේ බුදුන් හංසරාජන් ව ඉපැද මලෙහි බැඳී ගියදා ඒ මලින් ද ගළවා හළ.

බෝසතුන් මහණවීම

මෙසේ සසර ජාති සහස්‍රෙයහි නොයෙක් බන්‍ධනයෙන් බුදුන් ගළවා උපකාරී ව අවුදින් දැන් මේ බුදු වන ජාතියෙහි කාමබන්‍ධනයෙන් අනුබල ව ගළවා සිත් සේ ධ්‍යාන භූමියෙහි ඇවිදුනාවන් කෙළේ ය. මෙසේ මෙසේ උහු උපකාරී ව ආ හෙයින් බෝසතාණෝ ඔහු අස්වසා “තා පසු ව මහණ කරවා ගනිමි“ යි කියා සන්හිඳුවාලා පළඳනා හා අශ්වයා ඕහට පාවා දී මෙසේ සිතූ සේක. “මේ මාගේ හිසකෙස් වැටිය තපසට සරුප් නොවෙයි. කෙසේ හරිම් දෝ හෝ”යි සිතා බෝධිසත්ත්‍වයන් හිස අල්වා කෙස් කැපීමට අනික් සුදුසු කෙනකුන් නැති හෙයිනුත් සිය අතින් ම කෙස්වැටිය කැපී ම හැම බුදුන්ගේ සිරිත් හෙයිනුත් කොපුවෙහි තිබූ මඟුල් කඩුව වලාකඩකින් හළ විදුලිය පතක් සේ හයා, දකුණතින් කඩුමිට ගෙන, වමතින් කෙස්වැටිය ගෙන, නිලුපුල් කලබක් සේ කපා හළ කල සිටි කෙස් දෑඟුල් පමණ ව දක්‍ෂිණාවර්ත ව නැමී සිරස හා සම ව හැලී ගිය. දැළි රැවුළු ද එසේ ම වී ය. නැවත ජීවිතාන්තය දක්වා කෙස් බෑව මැනවැ යි නැති ව එසේ ම පැවැත්ත.

ඉක්බිත්තෙන් බෝධිසත්ත්‍වයෝ අඳුන් රැසක් සේ කෙස් වැටිය අතින් ගෙන “ඉදින් ඒකාන්තයෙන් මම බුදුවෙම් නම් මේ කෙස්වැටිය ආකාශයෙහි රඳවයි. බුදු නොවෙම් නම් බිම වැටේව”යි අධිෂ්ඨාන කොට අහසට දැමූදෑ ය. එ කෙස්වැටිය සතර ගව්වක් අහසට පැන නැගී කාළහංස රාජයකු සේ ලීලොපෙත ව සිටියේ ය. එකෙණෙහි ශක්‍රදේවේන්‍ද්‍රයා දිවසින් බලා දැක සතර ගව්වක් උස ඇති රුවන් කරඬුවකින් ඒ කේශධාතු පිළිගෙන තමාගේ ශක්‍ර භවනයට ගෙන ගොස් සිළුමිණිසෑ නම් දාගැබක් මවා දෙදෙව් ලෝවැසියන් ගෙන දැන දක්වා පූජා කෙරෙයි. එසේ හෙයින් කියන ලදි:

ඡෙත්‍වාන මොලිං වරගන්‍ධ වාසිතං

වෙහාසයං උක්ඛිපි අග්ග පුග්ගලො,[71]

සහස්ස නෙත්තො සිරසා පටිග්ගහී

සුවණ්ණවඩ්ගොටවරෙන වාසවො - යි.

මෙසේ මාගේ බුදුන් කපා හළ කෙස්වැටිය පමණක් පවා ශක්‍රදේවේන්‍ද්‍රයා තමා මුදුනෙන් පිළිගෙන ශක්ති පමණින් පූජා කළ හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

ඉක්බිත්තෙන් කෙස්වැටිය මෙසේ කපා බෝධිසත්ත්‍වයෝ “මේ මා හින තුබූ කසී සළුව තපසට සුදුසු නො වෙ”යි සිතූ දෑ ය. එ කෙණෙහි කාශ්‍යප බුදුන් සමයෙහි බෝසතුන්ට යහළු වූ ශුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි වසන ඝටීකාර නම් මහාබ්‍රහ්ම රජ්ජුරුවෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නො නැසී පැවැත්තා වූ මිත්‍රධර්මයෙන් යෙදුනාහු “අද මාගේ යහළුනූවෝ මහණ වෙමි යි සිතූහ. උන්ට මහණ පිරිකර ගෙන යෙමි”යි සිතා කල්පොත්පත්තියෙහි දී පියුම් පෙත්තෙහි මැවී තුබූ සතර වන අටපිරිකර ගෙනවුත් ශ්‍රී හස්තයෙහි තබාලූහ. එ කෙණෙහි බෝධිසත්ත්‍වයෝ බ්‍රහ්මයා දුන් සිවුරු පෙරව, උතුම් වූ තවුස් වෙස් ගෙන ඉන තුබූ සාටක යුග්මය අතින් ගෙන පෙර සේ ම ඉටා ආකාශයට දැමූදෑ ය. එදා සතර ගව්වක් ආකාශයට පැන නැගී ශ්වේත හංසරාජ යුග්මයක් සේ ලීලොපෙත ව සිටි කල මහාබ්‍රහ්මයා දොළොස් යොදුන් රුවන් කරඬුවකින් ඒ සළු ද. පිළිගෙන බඹලෝ ගෙන ගොස් සළුමිණිසෑ වඩා දැන් දක්වා මහත් වූ පූජා කෙරෙයි. මෙසේ තමන් වහන්සේ මණ වන දා ඇඳි සළුව දක්වා මහා බ්‍රහ්මයාට මුදුන් මල්කඩ වූ හෙයිනුත්, ඔහු තමා ශක්ති පමණින් පූජා කළ හෙයිනුත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

මෙසේ මහණ වූ ඉක්බිත්තෙන් බෝසතාණෝ ඡන්නයා නම් අමාත්‍යයා ළඟට කැඳවා “යහළු! තෝ ශෝක නො කොට මාගේ කීමෙන් ගොස් මපියාණන් වහන්සේට හා මෑණියන් වහන්සේට හා යශෝධරා දේවීන්ට හා මා නිදුක් පරිදිත් ඉසකේ කපා මහණ වූ පරිදිත්, දෙවනුව ලොව්තුරා බුදුව මුත් තමන්ට දක්නට නො එන පරිදිත්, මා කෙරෙහි ශෝක නො කරන්ටත් මපියාණන් වහන්සේ මපුතු රහල් කුමරුවා බලා මා කෙරෙහි ශෝක නො කරන මෙපරිද්දෙන් කියයි සමුදුන් සේක. ඡන්නයා බෝධිසත්‍වයන් වැඳ ප්‍රදක්‍ෂිණා කොට ලා හඬ හඬා නික්මින. කන්ථක නම් අශ්වයා බෝසතුන් මහණ වූ පරිදිත්, ඡන්නයා හා සමග කරන කථාවත් දැන “නැවත මාගේ ස්වාමීහු දැක්මෙක් මට නැතැ”යි සිතා ශෝක කරනුයේ චක්‍ෂුඃපථය ඉක්මෙත් ඉක්මෙත් ශෝකාග්නින් ලය පැළී මිය රිදී කඳක් වැනි අස්කඳ බිම හෙළා එ කෙණෙහිම තවුතිසා භවනයෙහි කන්ථක නම් දිව්‍ය පුත්‍රව තුන් ගවු උස දිව්‍ය ශරීර ඇතිව දිව්‍ය පර්‍ෂදින් සෑදී දොළොස් යොදුන් දිව්‍ය ප්‍රාසාදයෙක පෙනී ගිය. ඒ ඡන්න නම් අමාත්‍යයාට ආදි එක ශෝකයෙක. අසුමළ පසු දෙවන ශෝකයෙන් පෙළෙන්නේ හඬා ගෙන වැලප වැලප නුවරට ගොස් මෙ පවත් සැල කෙළේ ය.

අනුපිය නම් අඹවනයෙහි විසීම

ඉක්බිත්තෙන් මහණවෙලා මාගේ ස්වාමිදරුවෝ අමාත්‍යයා ගිය පසු නුවරින් ආ කෙනෙක් මා දැක පියති යි එ තැනින් නික්ම වැඩ එම ගංබඩ අනුපිය නම් අඹවනයට වැදලා ඒ වනෙහි පැවිදි සුවෙන් සත් දවසක් නිරාහාරයෙන් වැඩහිඳ අටවන දා එ තැනට තිස් යොදුන් මග ගෙවා රජගහ නුවරට ගොස් පූර්වද්වාරයෙන් වැද ගෙපිළිවෙලින් සිඟන්නට පටන්ගත් සේක.

රජගහනුවර පිඬු හැසිරීම

එ නුවර පළමු සත් දවසෙක පටන් ඇසළ කෙළි නම් වූ නකත් කෙළියෙක් විය. මනුෂ්‍යයෝ තමන් තමන්ගේ කර්මාන්ත හැර නුවරට වැද උත්සව කෙළි කෙළනාහු ය. එදා ඒ මනුෂ්‍යයෝ බෝසතුන්ගේ රූපදර්ශනය නිසා නාලාගිරිහු වන් එම රජගහා නුවර සේ, අසුරයන් වන් ශක්‍රපුරය සේ, හැළලී අටළොස් කෙළක් මනුෂ්‍යයෝ දිව අවුදින් බෝසතුන් වට කොට ගත්හ. එ වේලෙහි බෝසතාණෝ ගෙයක් පන්වා ගෙයකට නොගොස්, වියදඬු පමණකින් වඩා දුර නො බලා, සන්හුන් ගමනින් පිඬුසිඟන සේක. එදා රැස්වූ මිනිසුන් අතුරෙන් සමහර කෙනෙක් කොල මේ රාහුට භයින් මිනිස්ලොවට දිව වෙස් වලා ඇවිදිනේ පූර්ණ චන්‍ද්‍රයා යයි යෙති. සමහර කෙනෙක් කොල, කුමක් කියවු ද ඒ පූර්ණ චන්‍ද්‍රයා මනුෂ්‍ය ලෝකයෙහි කවර කලෙක ඇවිදි විරී ද? ඒ සකලඞ්කය. මේ අකලඞ්ක ය. එසේ හෙයින් මේ පූර්ණ චන්‍ද්‍රයා නොවෙ යි. අපගේ රජුගේ හා නුවර වැසියන්ගේ ක්‍රීඩා විභූතිය අසා කෙළනා නිසා වෙල් වලා ආයේ මේ කාම දේවයා දෝ”යි යෙති.

සමහර කෙනෙක් එ බසට සිනාසී “කොල, තොපි නන් දොඩවූද, ඒ අනඞ්ගයා නම් ඊශ්වරයා විසින් දවාපියන ලද අද්ධාඞ්ග ඇත්තේ ය. මේ පුරුෂයා ඉතා සම්පූර්ණ වූ ගාත්‍ර ඇත්තේ ය. එසේ හෙයින් මේ කාම දේවයා නො වෙයි. තමාගේ දිව්‍ය පුරය දෝ හෝ යි යන සංඥාවෙන් ඇවිදිනේ ශක්‍ර දේවේන්‍ද්‍රයා දෝ”යි යෙති. සමහරු එ බසට සිනා පහළ කොට “තොප කියන බස් පූර්වාපර විරොධ ය. ඒ තොපගේ ශක්‍රයාගේ දහසක් ඇස් කොයි ද, ඓරාවණ නම් හස්ති රාජයා කොයි ද, එසේ හෙයින් මේ ශක්‍රදේවේන්‍ද්‍රයෙක් නොවේම ය. මේ නුවර බ්‍රාහ්මණ තපස්වීවරුන් වෙද වෙදාඞ්ගයෙහි ප්‍රමාද ය යි වැඩ පිණිස ආයේ මේ මහා බ්‍රහ්මයා දෝ”යි යෙති. ඔවුන් ඇමට නින්‍දා කොට සමහර කෙනෙක් “මේ සඳෙකුත් නොවෙයි. කාමදේවයෙකුත් නොවෙයි. බ්‍රහ්මයෙකුත් නොවෙයි. ඒකාන්තයෙන් ම මේ ලෝකයට ඉෂ්ටකාමී වූ තපස්වියෙක් ම ය”යි කීහ.

එ කල රාජ පුරුෂයෝ රජු කරා දිව ගොස් “ස්වාමීනි දෙවියකු බවත් නො දනුම්හ. බ්‍රහ්මයකු බවත් නො දනුම්හ. යක්‍ෂයකු බවත් නො දනුම්හ. නාගයකු බවත් නො දනුම්හ. ගරුඩයකු බවත් නො දනුම්හ. අපගේ මේ නුවර දොරින් දොර පිඩු සිඟයි. ඉතා ආශ්චර්‍ය්‍ය පුරුෂයෙකැ”යි කීහ. එ පවත් රජ අසා සිංහ පඤ්ජරයෙහි දොර හැර වීථිය බලනුයේ, බෝසතුන්ගේ රූපශ්‍රී දැක ඉතා ආශ්චර්‍ය්‍ය වූයේ “කොල, වහා යව. ඉදින් අමනුෂ්‍යයෙක් වී නම් නුවරින් පිටත් වලා අන්තර්ධාන වෙයි. ඉදින් දෙවියෙක් වී නම් ආකාශයෙන් නැගී යෙයි. දිව්‍යනාගයෙක් වී නම් පොළොව කිමිද යෙයි. ඉදින් මිනිස් තවුසෙක් වී නම් ලද ආහාරයක් සැප තෙනෙක හිඳ වළඳයි. දුටු පවත් මට කියව”යි නියෝග කෙළේ ය.

ඉක්බිත්තෙන් බෝධිසත්ත්‍වයෝ තමන්ගේ රූප ශෝභාවෙන් සියලු සතුන්ගේ නුවන් තමන් කරා හයමින් යුගමාත්‍ර දර්ශී ව යැපෙන පමණක් සැඳි බත් ලදින් වන් වාසලින් ම නුවරින් පිටත් වලා පාණ්ඩව නම් පර්වත සෙවනෙක පූර්ව දිග් බලා වැඩහිඳ වළඳන්නට පටන් ගත්සේක. උපන් දා පටන් එසේ වූ බැගෑපත් ආහාරයක් ඇසිනුත් නුදුටුවිරූ හෙයිනුත්, සුවඳ ඇල්සාලේ අග්‍ර භෝජනය ම අනුභව කොට වැඩි හෙයිනුත්, ඒ බත මුඛයට පෑලූ වේලෙහි බඩවැල් මුඛයට නැගෙන ආකාර ව පිළිකුල් වී ය. එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ සිතා වදාරණසේක් ‘එසේ ද සිද්ධාර්ථ ය! තෝ පෙර සුවඳ කවා තුබූ ඇල්සාලේ අග්‍ර භෝජනයම අනුභව කොට [72]බත් කන කුලෙහි ඉපැද රජ සුව විඳිනා සමයෙහි කවර දවසෙක සිවුරක් පෙරව ඇඟින් ඩාදිය වගුර වගුරා දොර දොර පිඬු සිඟා පාංශුකූල වූ ආහාරයක් එකලා ව වැඩහිඳ අනුභව කෙරෙම් දෝ හෝ, කවර දවසෙක ලැබෙම් දෝ හෝයි සිතා ඇවිද්දෙහි ය.

දැන් තෝ ඒ පාංශුකූල වූ ආහාරය ලදින් පිළිකුල් සිතයි ද, සුභෝජනය ම වළඳා බුදු වතොත් කැමැත්තෙහි ද, තා සේ වූ අලජ්ජියෙක් තවත් ඇද්ද, තාගේ ශරීරයට සුව කැමැත්තෙහි වී නම් මුළු ලෝ වැසියන්ට කෙසේ නම් නිවන් සුව දී ලයි ද, තෝ ලජ්ජා ඇතියෙහි වී නම් මේ වේලෙහි පටන් බුදු වන දවස් දක්වා ලද යම් භෝජනයක් අමා කොට සිතාලා ලද දෙයකින් යැපී ඉන්‍ද්‍රිය සංවර ශීලය අඛණ්ඩ කොට රක්‍ෂා කරව”යි මෙසේ තමන් වහන්සේ ම තමන් වහන්සේට ගුරුව ඉන්‍ද්‍රිය සංවර ශීලය ඉටා ගෙන “එම්බල සිද්ධාර්ථ කුමාරය! තාගේ මේ ශරීරය ඝන රනින් නිමවා ඔප් නගන ලදුයේ නො යෙි. දෙකෙළ පනස් ලක්‍ෂයක් ඉසකේයෙන, නවානූදහසක් ලෝමයෙන, විසි නිය පොත්තෙන, දෙතිස් දතින, මස් වසා සිටි සමින, නවසියයක් මස් පිඬින, නවසියයක් නහරවැලෙන, තුන්සියයක් ඇටසඟලෙන, පුරා තිබෙන ඇටමිදුලෙන, වකුගඩුයෙන, හදමසින, අක්මායෙන, දලබුයෙන, බඩදිවින, පපුකැනින, දෙතිස් රියන් බඩ වැලෙන, දෙතිස් රියන් අතුනු බහනින, උදරයෙන. අහර මලයෙන, ඉස්මුලින, ලය පුරා තිබෙන පිතින, උගුරු පිරුණු සෙමින, පූයායෙන, පැතිර සිටිනා ලෙහෙයෙන, සෝදීයෙන, මේදස් තෙලින, ඇස් පුරණ කඳුළෙන, විරි පවත්නා තෙලින, මුව පුරණ කෙලින, නාසා පුරණ සොටුයෙන, සඳමිදුලෙන, විත් පලා පිරුණු වටන් දියෙනැ යි යන මේ දෙතිස් පිළිකුල් කුණප කොට්ඨාසයෙන් ම පිරුණේ ය.

තව ද මේ පවිත්‍ර වූ ආහාර ය තාගේ ශරීර නමැති ගෘහයෙහි මුඛ නමැති වනයට බහා දත් නමැති මොහොලින් කොට, දිව නමැති කුල්ලෙන් පොළා, කෙළ නමැති දියෙන් ගරා, උදර නමැති සැළියේ ලා පඨවී නමැති උදුනට නඟා, ආපො නමැති දියවර ගෙන තේජෝ නමැති ගිනි උපදවා, වායො නමැති පත් සලා, මෙසේ මහ කුස ගින්නෙන් දිවා රාත්‍රියක් කකියවා සැටපැය ගිය කල දිය වටන් මල වටන් උභතො මාර්ගයෙන් ඉතිරී පිළිකුල් බවට පැමිණෙයි. තාගේ මේ ශරීර කුණප ය බලත් මේ ආහාරය ම ඉතා පිරිසිදුය. ඉතා පවිත්‍රය. ඉතා උතුමැ”යි සිතත් සිතත් බෝසතුන්ට ඒ ආහාරය ම සභෝජන විය. එකල සිද්ධාර්ථ කුමාරය! තාගේ මේ ශරීරය ද එක් ධාතුයෙක. මේ ආහාරය ද එක් ධාතුයෙක. මේ ආහාරය ද එක් ධාතුයෙක. එසේ හෙයින් ධාතු සමූහයෙක් ධාතු සමූහයක් වළඳයි” යනාදීන් මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂා කොට පිළිකුල් නැතිව ම ඒ ආහාරය ම වැළඳූසේක.

ඉක්බිති රාජපුරුෂයෝ බත් වළඳන්නා දැක ගොස් රජහට සැලකළහ. රජ්ජුරුවෝ දූතයන් කී බස් අසා වහා නුවරින් නික්ම බෝසතුන් කරා ගොස් වැඩහුන් ලීලා දැක පැහැද නම් සලකුණු විචාරා බෝසතුන් ඇඳින, “කිමෙක, යහළු සිද්ධාර්ථ කුමාරයෙනි! තොපගේ වංශයෙහි සිඟා කෑ එක ද රජෙකුත් නැත. මහත් වූ රාජ්‍ය ශ්‍රී ම විඳිති. තොපගේ රජකුලයට පරිභව නො කරවා යහළු, මාගේ මේ රජගහනුවර නම් අසූ දහසක් නියම් ගමින් හා අටළොස් කෙළක් මනුෂ්‍යයන් විසින් හා, ගැවසී ගත්තේ ය. තුන් සියයක් යොදුන් අගු මගධ දෙරටින් නිමන අයින් අතුරු නැත්තේය. ඉසිගිලි, වේහාර, වේපුල්ල, පාණ්ඩව, ගිජ්ඣකූට යන පඤ්ච මහා පර්වතයන්ගෙන් පරික්‍ෂිප්ත විය. පූර්වයෙහි චක්‍රවර්ති රජුන්ගේ ම වාසස්ථාන ය. අමිත භෝගී වූ පඤ්ච මහා ධන සිටුවරුන්ගෙන් ශෝභමාන ය. යහළු මෙ නුවර මා හා එක්ව රජය කරව”යි කියා සියලු තමාගේ රජ ඉසුරු දින. බෝධිසත්ත්‍වයෝ “සත් දවසකින් ලැබෙන චක්‍රවර්ති රාජ්‍යය හැරපියා අවුදින් දැන් තොප හා සමග අධිරාජ්‍යය ගතිම් නම් ඒ චින්තාමාණික්‍ය රත්නය හැරපියා විදුරුගල් ගත්තා වැන්න. රජ සැපතින් මට කම් නැත. සම්‍යක්සම්බෝධිය පතා මහණ වීමි”යි කී සේක. රජ්ජුරුවෝ නො එක් ප්‍රකාරයෙන් රජයට යාච්ඤා කොට නොගිවිස්නා හෙයින් “එසේ වී නම් නුඹ වහන්සේ යම් දවසෙක බුදුවූ සේක් වී නම් පළමු ව මාගේ නුවරට වැඩ මිනිසුන්ට දෙසන පළමු වන ධර්මදේශනාව මට ම දෙසුව මැනවැ”යි ප්‍රතිඥා ගෙන අවසර ලදින් නැවත ඒ බිම්සර රජ්ජුරුවෝ තමන්ගේ රජගහ නුවරට ම වන්හ. එසේ හෙයින් කියන ලදි:-

අථ රාජගහං වර රාජගහං

[73]නර රාජවරෙ නගරන්තු ගතෙ,

ගිරිරාජවරො මුනිරාජවරො

මිගරාජගතො සුගතොපි ගතො - යි.

ඉක්බිත්තෙන් බෝසතාණන් වහන්සේ “බුදු ව පළමු වන ධර්මදේශනාව මහරජ තොපට ම දේශනා කෙරෙමි”යි රජහට ප්‍රතිඥා දීලා මිණි ගුහාවෙන් නිකුත් සිංහරාජයෙකු සේ ඒ පාණ්ඩව නම් පර්වත ගුහාවෙන් නික්ම, අනුක්‍රමයෙන් දනවු සැරිසරා ඇවිදිනා සේක් ආලාරය උද්දක ය යි යන තාපසවරුන් දෙදෙනා කරා ගොස් කීප දවසක් එහි වාසය කොට අෂ්ටසමාපත්තීන් උපදවා ගෙන “මේ ධ්‍යාන මාත්‍රයකින් බුදු ව ලෝවැඩ කළ නොහැක්කැ”යි එහි ලෝභ නොකොට ඒ තපස්වීන්ගේ සමයෙහි නිවන් නැතැ යි හැර එ තැනින් වැඩ සියලු දිව්‍ය මනුෂ්‍යයන්ට තමන් වහන්සේගේ වීර්‍ය්‍යබල දක්වා මහත් වූ දුෂ්කර ක්‍රියා කෙරෙමි යි සිතා උරුවෙලා නම් දනවුවට වැඩ ඒ රමණීය වූ වැලිතලාව දැක මේ තපසට රම්‍ය ස්ථානයෙකැ යි පැහැද ඒ තැන වාසයට පටන්ගත් සේක. ඒ උරුවෙලායෙහි වැලිතලාව නම් කෙසේ වී ද? යත්;

පෙර ධ්‍යානලාභි දසදහසක් තාපසවරුන් බොහෝ කලක් විසූ පන්සල ය. එ කල ඔහු ඇම දෙනා ම අප ඇමදෙනා අතුරෙන් යම් යම් කෙනෙක් තම තමන් රහසත් කාමවිතර්‍කාදි පාපයක් සිතූ නම් හිරු උදයේ ගොස් මේ ගඞ්ගාවේ කට පමණක් දියට බැස ගංපල්ලෙන් වැලි ගෙනවුත් මේ මලු මධ්‍යයෙහි ලලා ආරෝචනය කළ මැනව. ඕහට මේ දඬුවම් නමැ’යි කතිකා කළහ. එකල ඒ තාපසවරු අකුශල විතර්කයක් සිතූ කල උපන්කල එම ක්‍රමයෙන් වැලි ගොටුවක් ලා ඇවැත් දෙසන්නාහ දීර්ඝ කාලයකින් යොදුන් පමණ වැලිතලාවෙක් විය. පසු ව තාපසවරුන්ගේ අයාමෙහි උපන් රජදරුවෝ මේ පෙර උත්තමයන් විසූ තෙන ය යි සිල්වතුන් ඇදී වැලි ය යි සිසාරා පවුරු බඳවා උපචාර කළහ. මෙසේ ඒ උරුවෙලා නම් වැලිතලාවට රම්‍ය සේ දැක දුෂ්කර ක්‍රියාවෙන් එහි වාසයට පටන් ගත්සේක.

දුෂ්කර ක්‍රියා කිරීම

ඉක්බිත්තෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤය, භද්දිය, වප්පය, මහානාමය, අස්සජිය යි යන පෙර කී පඤ්ච වර්ගයෙහි භික්‍ෂූහු ගම් නියම්ගම් රාජධානියෙහි සැරිසරා ඇවිදිනාහු ඒ උරුවෙලාවට වැද බෝසතුන් දුටහ. එතැන් පටන් එක්ව වාසය කොට සාවුරුද්දක් මුළුල්ලෙහි ස්වාමිදරුවන් දුෂ්කර ක්‍රියා පුරන කල “මේ සිද්ධාර්ථ කුමාරයෝ අද බුදු වෙති. සෙට බුදු වෙති”යි මලු ඇම ද නහන බොන පැන් දී වත් පිළිවෙත් කොට දුක් ගෙන සමීපයෙහි වාසය කළාහු ය. බෝසතාණෝ “මේ ශරීරයට ඵාසුවක් කොට බුදු විය නොහැක්කැ යි ඉතා මහත් වූ දුක්අ දී දුෂ්කර ක්‍රියායෙන් මුදුන් පැමිණෙමි”යි දවසෙක තල ඇටක් සා භෝජනයකිනුත් යපී දවස් යවන සේක. හැම පරිද්දෙන් ම ආහාර වර්ජිත කොට මිරිස් කනක් ලද්දාත්, තිබ්බටු කනක් ලද්දාත් දවස් යවන සේක. සමහර දවසෙක බත් හුලකින් වුවත් දවස් යවනසේක. සමහර දවසෙක සුන් බතුත් වන සේක. දේවතාවෝ ආහාර වර්ජිතයෙන් නො නසිත්ව යි සිතා මුඛයෙන් අනුභව නො කරන හෙයින් නවානූදහසක් ලෝමකූපයෙන් දිව්‍ය ඕජස් බහා ජීවිතය රක්‍ෂා කෙරෙති.

ඉක්බිත්තෙන් මෙසේ ආහාර වර්ජිත කිරීමෙන් දුර්වල වත් වත් රන් කඳක් වන් ශරීරය කාලවර්ණ ව ගිය. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෝ ද ශරීරයෙහි ම සැඟවී ගියහ. එක් දවසක් තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි මෙසේ නිරාහාරයෙන් සක්මන් කොට භාවනා කරන්නාහු දසකෙළ දහසක් පුරුෂයන්ට බල ඇති මාගේ ස්වාමිදරුවෝ ආහාර වර්ජිතයෙන් පස්කඳ දරාගත නොහී සක්මන් කෙළවර ගසකින් හුනු පුරාණ පත්‍රයක් සේ බිම වැටී විසංඥ වූ සේක. එ වේලෙහි සමහර දේවතාවෝ “අහෝ ඛේදය, ලොවට හානි විය. මහණ භවත් ගෞතමයෝ බුදු වෙමි යි උත්සාහ කොට බුදු විය නො හී බලව. දැන් මියගියාහු ය”යි සිසාරා සිට හඬති. සමහර දේවතාකෙනෙක් “තව නො මළාහු ය. ඇසිල්ලකින් උපදිති. බුදු නොව ඕහට අන්තරායෙක් නැතැ”යි කියති.

ඉක්බිත්තෙන් එක් දේවතා දුවක් බෝසතුන් විසංඥ ව බිම හුනු විට ම කිඹුල්වතට දිව ශුද්ධෝදන රජ්ජුරුවන්ගේ ශ්‍රි යහන් ගබඩාවෙහි ආකාශයෙහි සිට ආලෝක පතුරුවා රජ්ජුරුවන් පුබුදුවා “කිමෙක් ද? ශුද්ධෝදන රජ්ජුරුවෙනි,” තොප පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ දැන් පරලොව ගියාහුය”යි කිවුය. එ බස් අසා රජ්ජුරුවෝ “මපුතණුවෝ බුදු ව මළාහු ද, නුබුදු ව මළාහු දැ”යි විචාළහ. “බුදු විය නො හී දුෂ්කර ක්‍රියා භූමියෙහි මළාහු ය”යි කීව. එ බස් අසා රජ්ජුරුවෝ “මම තී කී බස් නො ගිවිසිමි මා පුතණුවන් ලොවුතුරා බුදු නො වී මිය යාමෙක් නම් අහසට පොළොව සේ දුරැ”යි කියා නො ගිවිස්සාහ.

මෙසේ තර ව රජ්ජුරුවන් නොගිවිස්නට කාරණ කිම යත්:- එදා කාළදේවල නම් තාපසයන්ගේ ජටාන්තරයෙහි ශ්‍රී පාදය පෙනී ගිය ප්‍රාතිහාර්‍ය්‍යය, දඹගස මුලදී දුටු ප්‍රාතිහාර්‍ය්‍යය යන මේ දෙකාරණයෙන් ප්‍රත්‍යක්‍ෂ ව රජ්ජුරුවෝ නො අදහා “තී සේ වූ දේවතා දූන් සියයක් දහසක් කීවත් මම නො ගිවිසිම් ම ය. මපුතණුවෝ බුදු ව ධම් දෙසා මුත් නො මියෙත් ම යැ”යි ප්‍රතික්‍ෂේප කළාහු ය. ඉක්බිත්තෙන් දේවතා දූ නැවත ගොස් බෝසතුන් පැනනැගී සිටියවුන් දැක සතුටු සතුටුව නැවත දිවගොස් “රජ්ජුරුවෙනි! තොප පුතණුවෝ නො මළාහු ය. ශෝක නො කරව”යි කිව. මෙසේ ම දේවතාවෝ නො එක් වාරයෙහි අවුදින් බෝසතුන් මළහ යි යෙති. නො එක් වර ම රජ්ජුරුවෝ නො ගිවිසිත්ම ය. ඉක්බිත්තෙන් මාගේ බෝධිසත්ත්‍වයන් කරන්නා වූ වීර්‍ය්‍ය අහස හා පොළොව ගැටලන්නා සේ, මහ මුහුද පැන් ඉස්නා සේ, මහමෙර සොලවන්නා සේ, ඉතා උගහට වි ය.

මෙසේ දුක් ගෙන බුදුවිය නොහී “මේ බුදු ව යා හැකි මගෙක් නො වෙයි. දුක් හැරපියා ආහාර පර්යේෂණය කොට කායබල උපදවාගෙන වීර්‍ය්‍ය කොට බුදු වෙමි”යි සිතා නා නා ස්ථානයෙහි ඇවිද භික්‍ෂාටනය කොට මධුර වූ ආහාරය අනුභව කරන්නට පටන්ගත් සේක. නැවත ශරීරය රන්කඳක් සේ ව සැඟවී ගිය දෙතිස් අසූ ලකුණු පහළ විය. එකල පස්වග මහණු “මේ සිද්ධාර්ථ කුමාරයෝ සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා පුරා බුදුවිය නුහුනුවෝ ය. දැන් නානා ස්ථානයෙහි පිඬුසිඟා මධුර වූ ආහාරය අනුභව කොට කවර කලෙක නම් බුදු වෙද්දැ යි, ඉස් ශෝධා නහනු කැමැති ව පිනිබිඳු එක්කරන්නා සේ මෝහට දුක් ගෙන කවර දා වැඩක් විඳිමෝදැ”යි තමන් තමන්ගේ පා සිවුරු ගෙන අටළොස් යොදුන් මඟ ගෙවා ගොස් බරණැස ඉසිපතනයට වැද වාසය කෙරෙති.

එ සමයෙහි එම උරුවෙලා නම් දනව්වෙහි සේනානි නම් නියම්ගම සේනානි නම් සිටකුගේ සුජාතා නම් දුවක් වැඩිවිය පැමිණ අජපාල නම් න්‍යග්‍රොධ වෘක්‍ෂය කරා ගොස් “මේ වෘක්‍ෂයෙහි දේවතාවානෙනි, මම් මතු සම වූ ජාති හා ධන රුව ඇති සිටකු කෙරේ සරණ රැකි කුළුඳුලෙහි පුතෙකු ලදිමි නම් එ තැන් පටන් හවුරුදු පතා ලක්‍ෂයක් අගනා කිරිබතකින් තොපට පූජා කෙරෙමි”යි යාදිනි කළා ය. පසු ව ඕතොමෝ බරණැස සිටාණන් කෙරේ වැස කුළුඳුලෙහි යස නම් පුතකු ලදින් හවුරුදු පතා ඒ නුගගස දේවතාවාට බිලියම් දෙයි. එ කල මාගේ බුදුන් දුෂ්කර ක්‍රියා පුරා සාවුරුද්දක් ගියකල බුදු වන වෙසඟ මැදි පොහෝදා දේවපූජා කෙරෙමි යි ඒ සුජාතාවෝ පළමුව දහසක් දෙනුන් වැල්මී වෙනෙහි කවා උන්ගෙන් දහසක් කිරි බඳුන් දෙව. ඒ කිරි කකාරා පන්සියයක් දෙනුන් පොවා, ඒ දෙනුන්ගේ කිරි දෙව කකාරා දෙසිය පනස් දෙනකු පොවා ඔවුන්ගේ කරි දෙව කකාරා එකසිය පස්විසි දෙනකු පොවා, උන්ගේ කිරිදෙව කකාරා සූසැට දෙනකු පොවා උන්ගේ කිරි දෙව කකාරා දෙතිස් දෙනකු පොවා. උන්ගේ කිරිදෙව කකාරා සොළොස් දෙනකු පොවා, උන්ගේ කිරි දෙව කකාරා මඟුල් දෙනුන් අටදෙනෙකු පොවා, මෙසේ ඒ දහසක් දෙනුන්ගෙන් දෙව් කිරි අට පරම්පරාවකින් බොල් ව මියුරු වූ කල එදා උදාසන ඒ දෙනුන් අටදෙනාගේ කිරි දෝනා සඳහා වස්සන් මුදාලූ කල වස්සෝ බුරුලුවල තොලු නො ලා සිටිති. එ විගස [74]භාජනයන් පැලූ වේලෙහි ක්‍ෂීරධාරාවෝ ඒකධාරා ව තුමූ ම වැගිරී බදුන් පුරා ඉතිර සිටගත්හ.

පංච මහා ස්වප්නය

ඒ ආශ්චර්‍ය්‍ය දුටු සුජාතාවෝ තන් ස්වහස්තයෙන්ම කිරි ගෙන නවමු මහ සැළෙක බහාලා අගුරු දෙවුදුරු කව්රු කළුවැල් සඳුන් යනාදි සුවඳ දරින් කිරිබත පැසවන්ට පටන් ගත්හ. එ බත පැසෙත් පැසෙත් මහත් බුබුළු නැගී දක්‍ෂිණාවෘත්ත ව සැළ වටා දිවෙයි. එක බින්දුවෙකුත් පිටත නො යෙයි. ඒ උදුනෙන් පාන් ශිඛාවෙක දුම් පමණකුත් නො නැඟෙයි. එ වේලෙහි වරම් රජදරුවෝ සතර දෙන අවුත් උදුන සතරදිග රකවල්ගත්හ. ශක්‍රදේවේන්‍ද්‍රයා අවුත් ද දා බට පෙනෙහෙලි උදා ගිනි දල්වා අරක් කැමි කම් කෙරෙයි. මහාබ්‍රහ්මයා උදුන් මුදුනට සේසත් ගෙන සිටගත. දසදහසක් සක්වළ දෙවියෝ දස දහසක් මනුෂ්‍ය ලෝකවල ද සැට දහසක් දිව්‍ය ලෝකවල ද ඇති යම් ම රසයක් තමන් තමන්ගේ ආනුභාවයෙන් දඬුවැල්බෑ මීයක් පෙළා මධුරස ගන්නවුන් සේ හැම රස ම ගෙන ඒ බඳනේ බහාලූහ. සුජාතාවෝ මේ ආශ්චර්‍ය්‍යය දැක තමන්ගේ පූර්ණා නම් දාසිය කැඳවා “බුහුනැනියෙනි, මෙ තෙක් කල් මේ බත් පිසන කල මෙසේ වූ ප්‍රාතිහාර්‍ය්‍යයක් නුදුටු විරීමි. අපගේ වෘක්‍ෂ දේවතාවා අද ඉතා ම මා කෙරෙහි පැහැද ගියේ වන. තෙපි පළමු ව දිව ඒ දේවාලය සකසා පිස පියව”යි කිව. ඒ පූර්ණා නම් දාසි අජපාල නම් ඒ නුග ගස කරා ගියා ය. මාගේ බෝසතාණෝ එ දා රෑ පඤ්ච මහා ස්වප්නයක් දුටහ. ඒ කෙසේ ද? යත්:- පශ්චිම භවික වූ මහා බෝධිසත්ත්‍වවරයන් බුදුවන දවස් චාතුර්දර්ශී දින රාත්‍රියෙහි දක්නා ස්වප්නයෝ පස් දෙනෙක. එසේ හෙයින් ම මහා ස්වප්න යයි ව්‍යවහාර වී ය. එ දවස් රෑ “සෙට මැදි පොහෝදින ය. වෛශාඛ යෝගයත් යෙදින, මාගේ උත්පත්ති මහා මඞ්ගල වූ දින ය. දුෂ්කර ක්‍රියායෙන් දැන් හවුරුදු සයකුදු සම්පූර්ණ විය. එසේ හෙයින් සෙට මැදි පොහෝ දිනයෙහි ලොවුතුරා බුදු ව මහා බුද්ධ මඞ්ගල්‍යයනුදු ලදිම් නම් යෙහෙකැ”යි සිතා වැදහෙව නිද්‍රාවට පටන්ගත් සේක.

එකල එක් වේලක දක්නා සේක් මේ සා මහ පොළොව ශ්‍රී යහනක් කොට, හිමාලය පර්වතය [75]මහගුවක් කොට, සතර මහා සාගරයෙහි සතර ගාතය ගලා, ඇඟිලි අගින් සක්වළ ගල පිරිමදිමින්, උඩු බලා වැදහොත් සේක් නම්, ඒ කෙණෙහි බඹලෝ දක්වා සියලු දෙවියන් හා විමාන හා විශේෂයෙන් පෙනෙන්නේ නම. එ කෙණෙහි පිබිද ස්වප්නයෙහි අර්ථ පරීක්‍ෂා කොට “ඒකාන්තයෙන් මේ මා සිතූ දෙය සිද්ධවන්නා වූ මඟුල් ස්වප්නයෙක් ම ය. සම්‍යක් සම්බෝධිය නමැති මහ පොළොව මට ශ්‍රී යහන් වන. බුද්ධඥානය ම මට කන්වයිනක් ව ආධාර වන වන. චක්‍රවාටය මුළුල්ලෙහි ම මාගේ ධර්මචක්‍රෙයන් ම සම්පූර්ණ වන. තුන් ලෙවුහි මම ද උත්තානී ව සියලු සතුනු දු උන්මුඛ කරවමි. තුන්ලොව ඒකාඞ්ගනව පෙනීගියා සේ ම අනන්තාපර්‍ය්‍යාන්ත වූ ලෝකධාතු විශේෂයෙන් දක්නා තරම් අසාධාරණ වූ දිවැසුත් ලබන වන්මි. තුන්ලොව ඒකාලෝකව ගියා සේම මා සිත ද අනාවරණ ඥානයෙන් ඒකාලෝක වන. ඒකාන්තයෙන් ම මම සෙට බුදුවෙමියැ”යි පළමුවන ස්වප්නයෙන් ම දත්සේක.

තව ද එක් වේලෙක සුරකත වූ හීතණ ගසෙක් තමන් වහන්සේගේ නාභිමණ්ඩලයෙන් පැනනැගී නඟුලිසක් සා ව සියක් යොදුන් ව, දහසක් යොදුන් ව වැඩි වැඩී සදෙව්ලොව ගෙවා ගොස් සොළොස් බඹලොව ගෙවා ගොස්, පත් සෙවෙනි පෙළක් සේ මුළු සක්වළ වසාගෙන ඉඳුනිල් මිණි සතක් සේ සිටගත් නම. එවේලෙහිදු පිබිද ඉතා විස්මය පත්ව “මෙයිදු අනික් කාරණායෙක් නො වෙයි. බුදු මඟුලට ම කාරණ වූ ස්වප්නයෙක් ම ය. තණ නම් තෘෂ්ණාව ය. තෘෂ්ණාව නම් මාගේ බුදු වන තෘෂ්ණාව ම ය. හීතණ වෘක්‍ෂය නම් ශාන්ති වෘක්‍ෂය ය. තුන්ලොව පුරාගත් හෙයින් තුන්ලෝ ශාන්තියෙන් පුරණු මැනව. ඒ ශාන්ති වෘක්‍ෂය ද මාගේ ම නාභියෙන් නැගි හෙයින් ඒ ශාන්තිය ද ලොවට මා විසින් ම වුව මැනව. අමා මහ නිවන් ශාන්තියෙන් මුළුලොව පුරණවන්මි”යි සිතා දෙවන ස්වප්නයෙහිදු අර්ථය දුටුසේක.

තව ද එක් වේලෙක එක්තරා එක් පණුවෝ ජාතියෙක් ඉතා ධවලයෝ නම. කළු වූ ඉස් ඇත්තෝ නම. මෙසේ වූ ලක්‍ෂ සුවහස් ගණන් පණුවෝ ඒ ඒ දිගින් අවුත් තමන් වහන්සේ සිසාරා අතුරු නොදි ගලාගෙන දෙ පත්ලෙහි පටන් දෙ දනමඬල දක්වා පැනනැංගෝ නම. එ වේලෙහි දු පිබිද අති ප්‍රීති උපදවා ‘අති නීල වූ කෙස්වැටි ඇති, ශුද්ධ වූ වස්ත්‍ර ඇති, බොහෝ වූ වෛනෙය ජනයෝ මා කරා රැස් ව මාගේ පාද මූලයෙහි පිරෙනුවන්හ. බොහෝ දෙන මා සරණ ගන්නා වන්හ”යි තුන්වන ස්වප්නයෙහිදු අර්ථය දැක සෙට බුදුවෙම් ම යයි සනිටුහන් කළ සේක.

තව ද එක් වේලක අනෙක වර්ණ වූ පැහැ ඇති, ඉතා මනෝහර වූ රූ ඇති, ලිහිණියෝ සතර දෙනෙක් සතර දිගින් දිව අවුත් බෝසතුන් පාදමූලයෙහි හිඳ ඇසිල්ලකින් තමන්ගේ පළමු වර්ණණ හැර ඉතා සර්වාඞ්ග ධවල ව ගොස් එක වර්ණ ව ගියෝ නම්, එවේලෙහි දු පිබිද ප්‍රීති එළවා “ලිහිණියෝ සතර දෙන නම් රජ-බමුණු-වෙළඳ-ගොවි යයි යන චාතුර්වර්ණයහ. ඔවුන් නන් පැැ ඇති වූයේ නම් නා නා වර්ණ නානා ජාති - නා නාච්ඡන්‍ද - නා නා දෘෂ්ටි ඇති නියාවට කාරණ ය. ඔවුන් මා කරා පැමිණීම නම් ඒ චාතුර්වර්ණයන් මාගේ පාද මූලයට රැස් වන්නට කාරණ ය. ඒ ලිහිණියන් තමන් තමන්ගේ වර්ණ හැර මා කරා පැමිණ ඉතා ශ්වේත වර්ණ ව ගියේ නම් ඒ චාතුර්වර්ණයන් මා කරා පැමිණ තම තමන්ගේ නා නා ජාති ගෝත්‍ර හැර මාගේ සසුන් වැද මහණ ව ශාක්‍යපුත්‍රයෝ ය යි එක වර්ණ ලදින් අමා මහ නිවන් දැක පරිශුද්ධ වූ ශරීර ලැබීමට කාරණය”යි මෙසේ සතරවන ස්වප්නයෙහි දු අර්ථ දැක සෙට බුදු වෙම් ම ය යි සනිටුහන් කළ සේක.

තව ද එක් වේලෙක යෝජන ප්‍රමාණ වූ අමෙධ්‍ය පර්වතයක් මුදුනට පැනනැගී ඔබමොබ සක්මන් කොට ඇවිදිනා සේක් වී නම. එ කල කිසි අමෙධ්‍යයෙකුත් ඔබගේ ශ්‍රීපාදයේ නො වැකේ නම. එ වේලෙහි දු පිබිද ඉතා විස්මය ව මෙහි දු අර්ථ කිමෙක් දෝ හෝ යි පරීක්‍ෂාකොට “මෙයි දු මා බුදු වන්නා වූ ස්වප්නයෙක්ම ය. බුදුහු නම් මුළුලෝ වාසීන් කරන ලද අප්‍රමාණ වූ ප්‍රත්‍යය දානයෙහි අග්‍ර වන්නාහ. මේ සා මහත් වූ ප්‍රත්‍යය දානය ලදත් එහි කිසි ඇල්මකුත් නො කරන්නාහ. එසේ හෙයින් මෙහි දු මට ද මාගේ ශ්‍රාවකයන්ට ද මතු චතුර්විධ ප්‍රත්‍යය දානය බොහෝ කොට ලැබීමට කාරණ ය. එසේ හෙයින් අමෙධ්‍යයෙක් මා පය නො ඇලුනා සේ ම, මතු මා ද මාගේ ශ්‍රාවකයන් ද ලාභ සත්කාරයෙහි ලෝභ නොකොට නො ඇලීමට කාරණය ය”යි පස්වන ස්වප්නයෙහි දු අර්ථය දැක අලුයම් වේලෙහි පැන නැගී මේ ආදි කාරණයෙන් අද බුදු වෙම් ම ය යි අධිෂ්ඨාන කොට එදා උදය දැවිටු කා මුඛ ශෝධනය කොට, පාත්‍ර සිවුරු ගෙන, එක චාරී වූ ගඳැත් පොවුවකු සේ, බරණැස සේනානි නම් නියම් ගමට වැඩ, අජපාල නම් බ්‍රාහ්මණයා එ තැන දී කළා වූ යාගය ගෙන අජපාල නම් නුග යයි ප්‍රසිද්ධ වූ ඒ මහ නුග ගස මුල පූර්ව දිග් බලා වැඩහුන් සේක.

කිරිපිඬු පිළිගැන්වීම

එ වේලෙහි ඔබ ඇගින් නැගෙන ප්‍රභාවෙන් නුග ගස සියලු පත්‍රයෝ රන් කැටපත් සේ බබළා පැන නැඟෙති. මෙසේ බාලාකී මණ්ඩලය සේ වැඩහුන් බෝසතාණන්ගේ ශරීර ප්‍රභාව ඒ පූර්ණා නම් දාසිය දැක ඉතා විස්මය පත් ව “අද අපගේ වෘක්‍ෂ දේවතාවන් වහන්සේ විමානයෙන් බැස පියා ස්වහස්තයෙන් ම බත් පිළිගනිමි යි සමානයක් නැති ව ම වැඩහුන් සේකැ”යි සතුටු වූ සිත් ඇතිව ආපස්සේ දිවගෙන ගොස් “නහඬ! සුජාතාව, තීගේ දේවතාවා අද සදෘශයෙන් ම ගසමුල වැඩහුන්නේ ය. තව ද තිට අභිවෘද්ධියක් කෙරෙයි. වහා ගොසින් කිරිබත් පුදව”යි කිව. සුජාතාවෝ ඈ කී බස් අසා ඉතා සතුටින් පිණා “මෙ බඳු වූ සතුටු අසුන් මට කී තොපි අද පටන් මාගේ මහලු දූ ය”යි කියා දූ තනතුරෙහි තබා දුවකට දෙන තනතුරු හා දායාද හා ආභරණ සැපත් දුන්හ. හැම බුදුන් බුදු වන දා ලක්‍ෂයක් වටනා රන් තලියෙන් ම කිරිබත් පිළිගැන්ම ඒකාන්ත ධර්මයක් ම හෙයින් එදා සුජාතාවෝ ද බුදුන්ගේ පිනින් “රන්තලියකින් අද කිරිබත් පුදමි”යි සිතාලා ලක්‍ෂයක් වටනා රන් තලියක් ගෙන්වාගෙන සකස් කොට මැද පියා බත්සැළ ඔසවාගෙන රන්තලිය මුදුනෙහි මුනින් නමාලූහ. එ කෙණෙහි එක බත් හුළකුත් සැළි පල්ලෙහි නො ගෑවී නෙළුම් පතෙක බැඳ ලූ දියත්තක් සේ තලියෙහි වැගිර අඟලක් සා තැනුත් අඩු නො ව තලිය පුරා සම ව සිටගත. ඉක්බිත්තෙන් ඒ බත් තලිය ලක්‍ෂයක් වටනා අනික් රන් තලියකින් වසාගෙන ඒ මත්තෙහි සුදු වස්නකින් වසා, තොමෝ ද ඉස් ශෝධා නහා දෙවඟනක සේ සර්වාභරණයෙන් සැරහී බත් තලිය ඉස් මුදුනෙහි තබාගෙන බෙර සක් තිඹිලි ධජ පතාකාදි මහත් වූ පූජා පෙළහරින් නුග ගස කරා ගොස් බෝසතුන් දැක ඉතා සන්තෝෂ වූ සිත් ඇත්තී රුක් දෙවියා ය යි යන සිතින් දුටු තෙන පටන් ආදරයෙන් නැමි නැමී ගොස් මුදුනෙහි තුබූ තලිය බහාගෙන පිධානය හැරපියා පෙරට තබාලා ස්වර්ණාභිංකාරයෙන් සුවඳ පැන් ගෙන සමීප ව සිටියා ය.

මහා බ්‍රහ්මයා දුන් මැටි පාත්‍රය මේ සාවුරුද්ද මුළුල්ලෙහි ප්‍රයෝජනවත් ව දුතියක බාජනයක් බුදුන් නො පිළිගන්නා හෙයින් එ කෙණෙහි අන්තර්ධාන විය. බෝසතාණෝ සමීපයෙහි තුබූ මැටි පාත්‍රය නො දැක දක්‍ෂිණෝදකය ඉවසූසේක. එ කෙණෙහි සුජාතා තමා ආයාසයෙන් පිසූ පායාස ය රන්තලියෙන් ම බුදුන් අතට පිළිගන්වාලුව බෝසතාණන්වහන්සේ තලිය මාහැඟි සේ දැක සුජාතාවන් මුහුණ බැලූසේක. සුජාතාවෝ අභිප්‍රාව දැන “ස්වාමීනි! තෙල බත් තලිය හා සමගම නුඹවහන්සේට දිනිමි. සිත් සේ පිළිගෙන වැඩ කැමැති තෙනක දී වැළඳුව මැනවැ”යි ආරාධනා කොට පසඟ පිහිටුවා වැඳලා “යම් සේ නුඹවහන්සේ නිසා මාගේ අභිප්‍රාය සිද්ධ වී ද, එසේම නුඹවහන්සේගේ අභිප්‍රායද සිද්ධ වේව”යි කියාලා ගියා ය. මේ සුජාතාවෝ නම් පියුමතුරා බුදුන් සමයෙහි බුදු කෙනකුන් බුදුවන දා කිරිපිඬු දන් දෙමි යි ප්‍රාර්ථනා කොට එ කල දානාදි පින් කොට කප් ලක්‍ෂයක් නරකාදි දුක් නො දැක සසර ඇවිද, අප බුදුන් සමයෙහි බරණැස සිටුදූව ඉපැද ඒ ප්‍රාර්ථනා බලයෙන් මේ කිරිපිඬු දානය බෝසතුන්ට දී උපන් සන්තෝෂයෙන් ලක්‍ෂ්‍යයක් අගනා රන් තලිය පුරාණ පත්‍රයක් කොට ත් නො සිතා තමන්ගේ ගෙට ම ගියාහ.

ඉක්බිත්තෙන් බෝසතාණන් වහන්සේ හුනස්නෙන් පැන නැගී නුග ගස පැදකුණු කොට ලා බත් තලිය අත්ලේ තබාගෙන නෙරංජරා නම් ගංතෙරට ගොස් නොයෙක් දහස් ගණන් බුදුන් බුදුවන දා බැස නහනා සුප්‍රතිෂ්ඨිත නම් තොටට බැස ගංතෙර බත් තලිය තබාලා, ගඟට බැස පැන් සනහා, නොයෙක් ලක්‍ෂ ගණන් සර්වඥවරයන් හඳනා පොරෝනා අර්හත්ධ්වජය දරාගෙන අනන්තාපරියන්ත වූ බුදුන් වැඩහිඳ වැළඳූ ස්ථානයෙහි පූර්වදිග් බලා වැඩහිඳ “අද බුදු වීම් නම් එකුන් පනස් දවසකට මෙම බල යැ”යි එක් කැටි තල් පක් සා එකුන් පනස් පිඬක් ‘එකුන් පනස් දවසකට යැ”යි ඉටාගෙන ඒ මධුර වූ කිරිබත නිරවශේෂ කොට ම වැළඳූසේක. බත් වළඳා ඉක්බිත්තෙන් “මේ රන් තලියෙන් මට කම් නැත. බුදුවීමට කාරණයක් පරීක්‍ෂා කෙරෙමි”යි ඒ තලිය අත්ලෙි තබාගෙන ගංතොට සිට “ඒකාන්තයෙන් අද බුදුවෙම් නම් මේ රන් තලිය උඩුගං බලා සේව යි ඉදින් බුදුවිය නො හෙම් නම් යටිගං බලා යේව යි අධිෂ්ඨාන කොට තලිය ගඟට දමාපී සේක. එ කෙණෙහි දිය කපාගෙන නැවක් දිවුවා සේ ගංමැදට දිව, නැවත උඩුගං බලා අසකු දිවුවා සේ අසූ රියනක් තැන් දිව, එක් සළාවක ගැලී කාළ නම් දිව්‍ය නාගරාජයාගේ භවනයට වැද කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යයි යන තුන් බුදුන් බුදුවනදා වළඳහා හළ රන් තලි තුණ කරා පැමිණ එහි ගැසී රාවක් පවත්වා තුන් තලිය යටට වැදලා තැනී තුබුයේ ය.

ඉක්බිත්තෙන් කාළ නම් නා රජ්ජුරුවෝ තලිය හුණු හඬ අසා තමන් කපක් මුළුල්ලෙහි හිඳිනා ආයු ඇති හෙයින් ආදි තුන් තලියත් හුනු හඬ ඇසූ හෙයින් මේ තලියෙන් හඬ අසා “කොල. ඉන් පෙරවිදාත් එක් බුදුකෙනෙක් බුදු වූ ය. පෙරවිදාත් එක් බුදු කෙනෙක් බුදු වූ ය. ඊයේත් එක් බුදුකෙනෙක් බුදු වූ ය. අදත් එක් බුදුකෙනෙක් බුදු වෙති. කොල බුදු මඟුලට යම්හ”යි නා නළුවන් රැස් කොට පූජා සරහා සිටගත. බුද්ධාන්තරයෙක් නම් දහසක් හවුරුද්දෙක් ඝන අඟලක් වඩනා පොළොව සත් ගව්වක් උස වැඩී ගිය කල මෙසේ වූ දීර්ඝ කාලය ඔහුගේ ආයු බොහෝ හෙයින් ඉය්යේ පෙරවීදා සේ සිතින.

ඉක්බිත්තෙන් බෝසතාණන් වහන්සේ තලිය දිය පිට හැර පියා එ ගඟ සමීපයෙහි සුපිපි සල් වනයකට වැඩ, සල් ගසක් මුල වැඩහිඳ පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති උපදවාගෙන දිවාභාගය එතැන යවා සවස් වේලෙහි සියලු වන කුසුමයන් නටුයෙන් ගිලිහී හෙන කාලයෙහි සියලු දේවතාවන් විසින් සරහා, බෝමැඩ දක්වා මලින් තනනලද පුළුල අටසියක් රියන්, භේරි තලයක් සේ තැනූ මාර්ගයට පැමිණ අභීත කේශර සිංහරාජයකු සේ, ඒකචාරී ගන්‍ධ හස්තිරාජයකු සේ, බෝධිමණ්ඩලයට අභිමුඛව නික්මුණුසේක.

එ කෙණෙහි ඒ කාළ නම් නාගරාජයා සැට දහසක් නා නළුවන් ගෙන ස්තුති ගී කිය කියා නට නටා පෙරටුව නික්මින. තෙසු නාග යක්‍ෂ ගරුඩ ගන්‍ධර්වාදි දෙවියෝ දිව මල් දිව සුවඳින් පුදමින් යෙති. ඔහු මතු නො වෙති. දසදහසක් සක්වළ දෙවියන් කරන පූජාවෙන් සුවඳින් මලින් සාධුකාරයෙන් සම්පූර්ණව මෙසේ මාගේ ස්වාමිදරුවන් වඩනා වේලෙහි [76]ශාන්ති නම් බමුණෙක් තණ කදක් ගෙන බුදුන් පෙරමගට එනුයේ ස්වාමිදරුවන්ගේ අදහස් දැන මෙයින් ප්‍රයෝජනයක් ඇති වනැයි සිතා එයින් තන අට මිටක් ගෙන ශ්‍රී හස්තයට පිළිගන්වාලීය. ඒ තණ අට මිට ගෙන බොහෝ මරුන්ගේ මාන නමැති මඩ වියලන්නා වූ බෝමැඩ කරා මහා බ්‍රහ්මයා ලූ කුඩය යටින් වැඩ, සිරිමාබෝ කඳට දකුණු දිගැ උතුරු දිග බලා වැඩසිටි සේක. එ කෙණෙහි දකුණු සක්වල පාතාලයෙහි ගැලී උතුරු සක්වළ බමලොව ගැසී පැන නැංගාසේ වැටහින. එයින් පශ්චිම දිග්භාගයෙහි පූර්ව පූර්ව දිග් බලා වැඩසිටි සේක. පෑල සක්වළ ගැලී පූර්ව සක්වළ එසවී ගියා සේ වැටහිණ. උත්තර දිශා බාගයට ගොස් නැවත දකුණු දිග් බලා වැඩසිටි සේක. උතුරු සක්වළ ගැලී දකුණු සක්වළ එසවි උඩ අජටාකාශයෙහි ගැසී ගියා සේ වැටහිණ. “මේ තුන් දිසාවම අචල භූමියෙක් නොවේ”යි හැර නැගෙනහිර දිසාවෙහි ව්‍රජාසන භූමියෙහි පශ්චිම දිග් බලා වැඩ සිටිසේක. ඒ ස්ථානය අචල ස්ථානය හෙයින් නොසැලී සිටීය.

කුසතණ පිළිගැන්වීම

මේ කාරණයෙන්ම “මෙ තැන නො එක් බුදුන්ම මාර විජය කොට කෙලෙස් පඳුරු කපා හරණ උත්තම ස්ථානයෙක්ම යැ”යි සිතාලා තණ අට මිට අගින් අල්වාගෙන සලාලූ සේක. තීර්ථක නමැති හස්ති සේනාව මුදුනට දමාලූ අංකුශයක් සේ ඒ කුසතණ පොළොවට දමාලීම හා සමගම ස්වාමිදරුවන්ගේ පාරමතානු භාවයෙන්, මහ පොළොව පලාගෙන තුදුස් රියන් වජ්‍රායනයක් පැන නැඟී හැම කුසතණ චිත්‍ර කර්මාන්තයක් සේ මුල් සැඟවී අග්පිටත ව සෙවෙනි පෙළක් සේ ශෝභාවත්ව සිටගත. එ කෙණෙහි මාගේ ස්වාමිදරුවෝ වජ්‍රාසනය දැක ඒකාන්තයෙන් අද බුදු වෙම් ම ය යි කුල්මත් ව ඒ විදුරස්නට පැනනැගී බෝකඳට පිටලා නැගෙනහිර බලාගෙන “මේ මාගේ ශරීරයෙහි ඇට සම් මස් නහර ලේ වියලී සුනුවිසුණු වේ නමුත් සාරාසඞ්ඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි වීර්‍ය්‍ය කොට මා ලැබගත්තා වු මේ වජ්‍රාසනය හැරපියා බුදු නොව නැගී නො සිටිම් මයැ”යි චතුරඞ්ග සමන්වාගත වීර්‍ය්‍යාධිෂ්ඨාන කොට ගෙන රන්ගල් මුදුනක් දුටු සිංහ පොව්වකු සේ වැඩහුන් සේක.

මරුන් පැරදවීම

එ කෙණෙහි දසදහසක් සක්වළ ශක්‍රබ්‍රහ්මාදි දෙවියෝ “උතුමා අද බුදු වෙයි. ඔහුගේ බුදුමඟලට යම්හ”යි කියා අවුදින් රැස්ව බෝමැඩ පටන් සක්වළ වටා සිටගෙන නොඑක් පූජාවට පටන් ගත්හ. එ කෙණෙහි වශවර්ති මාරයා දැක බා සැඟවුනා සේ පළමු කොට හිරු අස්ත පර්වතයෙන් සැඟවී ගිය. පුන් සඳ ස්වාමිදරුවන් අභිමුඛයට පුදාලූ රිදී කැටපතක් සේ උදයගිරි පර්වතයෙක් බබලා පැනනැංග. එ කෙණෙහි වශවර්තිමාරයා ‘සිද්ධාර්ථ කුමාරයා මහණ වන්නට යන දාත් මා නො යවයි කියව කියවා පලා ගිය. ගිය සාවුරුද්දෙත් මට අවකාශයක් නො පෑයේ ය. දැන් බුදු වෙමි යි වජ්‍රාසන නැගී හිඳගත. දැන් ඇසිල්ලක් පමාවීම් නම් බුදුව මට බොහෝ පරිහානි කෙරෙයි. අද ඔහු බුදු විය නො දෙමි”යි සිතා තමාගේ මර සෙනඟ රැස්කොට මෙ පවත් කියාලා තමාගේ වශවර්ති ඝෝෂාව නම් වූ මහ බෙරගස්වා ලීය. ඒ භේරිඝෝෂාව බ්‍රහ්මාණ්ඩය ගසා ඇසී ගිය. හැම දිව්‍ය බ්‍රහ්මයෝ වෙවුලා ගියහ. හැම දෙවියන් ඇස් පිහී ගිය සියලු සතුන් සිත් ඉපිල ගිය. එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ ඒ භේරිඝෝෂාව අසා තමන්වහන්සේගේ බුදුමඟුලට ගැසූ තිඹිලි බෙරක් සේ කොට සිතා “වශවර්ති මාරයා මා කරා එන වනැ”යි සිතා “අද මාගේ වික්‍රම මුළු ලෝ වැසියෝ දක්නා වන්හ”යි සිතා උපන් සන්තෝෂයෙන් නිශ්චලව වැඩහුන් සේක.

ඉක්බිත්තෙන් ඒ භේරිඝෝෂාව අසා ඔහුගේ මාර සේනාව “අපගේ මර දෙව්පිත් අද මහා සංග්‍රාමයක් කරන වනැ”යි නන් අවිගෙන දිව අවුදින් ඔහු පිරිවරා සිටගත්හ. එකල වශවර්ති මාරයා යෙළ සියයක් යොදුන් ගිරිමේඛලා නම් ඇත්රජකු පැන නැඟී සිද්ධාර්ථ කුමාරයාට අද එක ආයුධයක් ගනිම් දැයි සිතා ලා පන්සියයක් හිස් මවාලා ගිනිවට සේ දහසක් රතැ’ස් මවා, දෙක පෝලයෙන් නික්ම තිබෙන භයඞ්කාර වූ දහසක් දළ මවා, දහසක් අත් මවාගෙන චක්‍ර තෝමර භෙණ්ඩිවාල අසිකණය කම්පනාදි වෙන වෙන දහසක් ආයුධ ගෙන, දසදසක් නඛසැත් හා සමග රතැස් බමා පිටිතොල් කකා “මට හිමි සෙනඟෙක් ඇත්නම් මාගේ සතුරා සාධා දෙව”යි කිය කියා නික්මින. එ කෙණෙහි ඔහුගේ වශවර්ති සේනාව ද ඉගිලී ගියහ. තෙමේ තමාගේ මහ සෙනඟ බලා “මා යන බව මුත් සිද්ධාර්ථකුමාරයා ජය ගෙනලිය නොහැක්ක. මහත් වූ මායම් දනිති. මහත් වු තේජස් ඇතියේය. ඉදිරියෙන් ගියෙම් නම් දුර දී ම දැක නො සැලී ම හින්දී. දසදික් නො බලමි යි අධිෂ්ඨාන කොට හිඳගත. පිටිපසින් ගියකල මාගේ මාර ඝෝෂාව අසා පිටිපස බලා තමා කර සොල්වා තමාගේ චතුරඞ්ග අධිෂ්ඨානය බිඳපියවයි. ඒ අවකාශයෙහිදී ඔහු පිටිපසින් ගොස් අල්වා ගනිමි”යි පශ්චිම චක්‍රවාට මුවවිටට බැස මර සෙනඟ මෙහෙයා නික්මිණ. ඒ කෙණෙහි ඔහුගේ යක්‍ෂ සේනාව [77]ඉදිරි පිටින් අටසාලිස් ගව්වෙක දිවෙති. දකුණැළයෙන් අටසාළිස් ගව්වෙක දිවෙති. වමැළයෙන් අටසාළිස් ගව්වෙක දිවෙති. ආකාශයෙහි බොලින් සතිස් ගව්වෙක හිවී ගැවසී දිවෙති. පිටිපසින් සක්වළ ගල පටන් මාර සේනාව මුහුදු රළ පෙළක් සේ දිවෙත්මය.

ඒ මර සෙනඟගේ ඝෝෂාව ඉදිරියෙන් සාරසියයක් ගව්වෙහි පොළොව පෙරළෙන හඬ සේ ඇසෙයි. මේ සා මරසෙනඟෙහි දෙදෙනෙක් එක් වෙසක් නොගත්තාහ. දෙදෙනෙක් එක්වැනි ආයුධයක් නො ගත්තාහ. සමහරු අස් වෙස් මවා දිවෙති. සමහරු ඇත් වෙස් ගෙන දිවෙති. සමහරු සිංහවෙස් ගෙන දිවෙති. සමහරු මහිෂ වෙස් මවා දිවෙති. සමහරු වෘෂභ වෙස් මවා දිවෙති. සමහරු සුනඛ වෙස් ගෙන දිවෙති. සමහරු ගුරුළු වෙස් මවා දිවෙති. සමහරු කපුටු වෙස් මවා දිවෙති. සමහරු ලිහිණි වෙස් මවා දිවෙති. සමහරු නා වෙස් මවා දිවෙති. සමහරු පොළොං වෙස් මවා දිවෙති. සමහරු පිඹුරු වෙස් මවා දිවෙති. සමහරු රාක්‍ෂස වෙස් මවා දිවෙති. සමහරු යක්හඬ ගසා දිවෙති. සමහරු පර්වත ගසා දිවෙති. සමහරු සර්පායුෂ ගෙන දිවෙති. සමහරු මහ රුක් උපුරා ඉස සිසාරා දිවෙති. සමහරු ගිනිවට ගස ගසා දිවෙති. මෙසේ නොයෙක් වෙස් ගෙන දිවුනෙත්තී පිරිස සක්වළ ගල පටන් අතුරු නො දී බෝමැඩ සිසාරා සිටගත්හ. එ කෙණෙහි මර සෙනඟ බෝමැඩ කරා එත් එත් මාර ඝෝෂාව ඇසෙත් ඇසෙත් පිරිවරා සිටී. දසදහසක් සක්වළ දෙවියන් අතුරෙන් එක දෙවියෙකුත් සිටි පිය නුහුනුයේ ය. කාළ නම් නා රජ්ජුරුවෝ සැට දහසක් නා නළුවන් ගෙන දහස් ගණන් ස්තුති ගී කිය කියා නටමින් සිටියාහු. එ කෙණෙහි පොළොව කිමිදගෙන තමන්ගේ පන්සියයක් යොදුන් මාඤ්ජරික නම් නාග භවනයට වැද දෑතින් මූණ වසාගෙන “අහෝ සිද්ධාර්ථකුමාරයන්ගේ රූසිරි අද නටැ”යි කිය කියා යහන් මතුයෙහි මුහුණින් වැටී ඔත්තාහු ය.

ඉක්බිත්තෙන් දසදහසක් සක්වළ සෙසු ශක්‍රයෝ තමන් තමන් අත තුබූ දස දහසක් ජය සක් අතින් දමා පියා තමන් තමන් සිටි සිටි දිගින් ම දිවපීහ. අපගේ මේ මගුල් සක්වළ සුජම්පති නම් ශක්‍රයෝ තමන් මේ මගුල් සක්වළ උපන් හෙයිනුත් මහ පින් බල ඇති හෙයිනුත්, මහා ධෛර්යය ඇති හෙයිනුත් තමන්ගේ ජයසක බිම හෙළා නො පියා පිට වතුරුවාගෙන දිවන්නාහු තමන්ගේ ශක්‍රපුරය බලා නො ගොස් සක්වළ ගල මුදුනට නැඟී කර නඟා බෝමැඩ දිසාව බල බලා සිටියහ. මෙසේ ම දස දහසක් සක්වළ සුයාම සන්තුෂිතාදි දෙවියෝ තමන් තමන් අත තුබූ තල් වැට චාමරාදි පූජා භාණ්ඩයන් දම දමා සිටි සිටි දිගින් පැලහ. දස දහසක් සක්වළ සම්පත් මහා බ්‍රහ්මයෝ දස දහසක් සේසත් සඳමඬුලු සේ සක්වළ මුවවිටියෙහි තබ තබා දිවපූහ. එතෙක් දෙවියන් අතුරෙන් එක දේවතාවෙකුත් සිටපිය නුහුනුයේ ම ය. මාගේ ස්වාමිදරුවෝ ඒ දෙවියන් ඇම පැලකල ඇත් සෙනඟක් දුටු සිංහපොව්වකු සේ ලෝමයකටත් භය නැතිව මහ මෙර සේ නො සෙල්වීම වැඩහුන් සේක්ම ය.

එසේ හෙයින් කියන ලදි.

විභඞ්ගමානං ගරුළොව මජ්ඣෙ

මජ්ඣෙ මිගානං පරමො‘ව සීහො,

මහායසො මාරබලස්ස මජ්ඣෙ

විසාරදො වීතභයො නිසීදි යි.

එ වේලෙහි උතුරු දිගින් දිව වන් මරසෙනඟ දැක ‘මෙ තෙක් සත්ත්‍වයෝ එකලා වූ මට ම යුද්ධයට ආවාහු ය. මෙ තැන මාගේ මවු පිය කෙනෙක් වේව යි, මල්බෑ කෙනෙක් වේව යි, අනික් කිසි කෙනෙක් වේවයි නැත. එ බැවින් මේ සාරාසංඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි අත් නො හැර ආවා වූ මාගේ සත්‍ය පාරමිතාව ම මෑණියෝ නම. ගැඹුරු වූ මාගේ ප්‍රඥා පාරමිතාව ම පියාණෝ නම. මා දත්තා වූ ධර්මය ම අනුබල වූ මල්බෑයෝ නම. මාගේ මෛත්‍රී පාරමිතාව ම කල්‍යාණමිත්‍රයා නම. මාගේ අචල වූ ශ්‍රද්ධා තොමෝ ම ප්‍රිය වූ කාන්තා නම, මාගේ ක්‍ෂාන්ති පාරමිතාව ම අනුබල වූ පුත්‍රයා නම. මේ මාගේ නෑයන් සදෙනාට මා මෙතුවක් කල් මුළුල්ලෙහි එක දවසකුත් එක පැයකුත් කිසි ම හානියක් නො කොට රක්‍ෂා කෙළෙම් ම ය. එසේ හෙයින් මාගේ මෙ තැන ජීවිතය සමාන නෑයෝ ඇත. තව ද මෙතුවක් කල් මුළුල්ලෙහි මා අත් නො හැර විසුවා වූ මා විසින් රක්‍ෂාකරන ලද්දා වූ මාගේ සමත්‍රිංශත් පාරමිතා නමැති මහා යෝධයෝ තිස්දෙන අද මා රක්‍ෂා කෙරෙත් ම ය. එසේ හෙයින් බල යෝධයනුත් මම ඇත්තෙමි. තවද මාගේ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ මාගේ මහා මන්ත්‍රී නම.

තව ද මාගේ නව දහස් අසූකෙළ පනස් ලක්‍ෂ සතිස් මහා සංවරශීල සමූහයෝ ම මහ බල සෙනග නම. එසේ හෙයින් මාගේ ශීල බල සේනාව අද මෙ තැන මා අත්හැර නොයෙත් ම ය. තව ද මාගේ ගම්භිර වූ ගුණ සමූහය ම ගැඹුරු වූ මහ අගල නම. මාගේ ප්‍රසන්න වූ මෛත්‍රී සමූහය ම එහි පුරා තිබූ දිය සසමූහය නම. එසේ හෙයින් මාගේ මේ මහ අගල මා කරා අද සතුරන් වැද්ද නොදෙත් ම ය. තව ද මාගේ පාරමිතා නමැති හුළින් බැඳ නගන ලද තේජෝ මහ පවුර බ්‍රහ්මාණ්ඩය ගසා උස්ව සිටියේ ම ය. එසේ හෙයින් ඒ ප්‍රාකරය පැන මර සතුරා වැද්ද නොහේ ම ය. මේ මාගේ විශේෂයෙන් රක්‍ෂාකරන ලද චතුපාරිසුද්ධි සීලයෝ සතර දෙන ම සතර මහ වාසල් නම. මේ මාගේ ඉන්‍ද්‍රිය සංවර ශීලය ම පක්‍ෂපාත වූ ද්වාරපාලයා නම. එසේ හෙයින් ඒ මාගේ ද්වාරපාලයා අද සතුරන්ට වාසල් නො හැර මා රක්‍ෂා කෙරේ ම ය. මාගේ මේ වජ්‍රාසනය ම හස්ති වාහන නම. මාගේ මේ ජයශ්‍රී මහා බෝධිය ම සතුරන් පරදවන ජය සේසත නම. එසේ හෙයින් මා නිසා උපන් මොහු දෙදෙනත් අද මා හැර නොයෙත් ම යැ”යි යනාදීන් මෙසේ මාගේ ස්වාමිදරුවෝ තමන් වහන්සේගේ පාරමිතා නමැති සේම වූ මහ නුවර මවා ශීල නමැති සෙනගින් කඳවුරු බැඳ සුදර්ශන මහනුවර මහ පිරිස් පිරිවරා හුන් සුදර්ශන නම් චක්‍රවර්ති රජහු සේ මාගේ ඒ ධර්ම චක්‍රවර්තීන් වහන්සේත් නිර්භීත ව වැඩහුන් සේක් ම ය.

මෙසේ වැඩහුන් කල ඒ වශවර්තිමාරයා පිටිපසින් බෝමැඩ දරා දිව අවුදින් බුදුන්ගේ තේජසින් ළංවිය නොහී “මහ පවනක් මෙහෙයා පවන් පහරින් ගසා පරසක්වළ හෙළමි”යි සිතාලා ප්‍රචණ්ඩ වූ පවනක් මෙහෙයා ලී ය. දිවන මහ සුළං යොදුන් දෙ යොදුන් පමණ ගල්කුළු උපුරාගෙන මහරුක් බිඳගෙන කල්පාන්ත වාතයක් සේ දිව අවුදින් මාගේ ස්වාමිදරුවාණන්ගේ මෛත්‍රී පුණ්‍ය ප්‍රභායෙන් බෝධිද්‍රැමයෙන් පත්‍ර ශාඛාවකුත් සොලවා ලිය නොහී, සිවුරු කණක් ලෝමයකුත් කම්පිත කොට ගත නොහී, මිහිරි වූ සුවඳ මඳ පවනක් සේ ශරීරයට සුව පහස් දී පූජා කොට ගියේ ය.

ඉක්බිත්තෙන් වසවත් මර දිව අවුදින් ‘සිද්ධාර්ථ කුමාරයා සුළං පහරින් ගොස් කවර සක්වළෙක වැටී ගියේ දෝ හෝ”යි බලනුයේ ස්වාමි දරුවන්ගේ උදයගිරි පර්වතයෙන් පැනනැගී ලහිරු මඬලක් සේ දිලියෙන ශරීරය දැක නැවත දණ්ඩෙන් ගැසූ නයකු සේ කිපී “ඝන වර්ෂාවක් වස්වා සැඩ වතුරෙන් මොහු පලවා මුහුදු බත් කොට මරමි”යි සිතාලා කල්පාන්ත වර්ෂාවක් සේ මහත් වූ මේඝයක් මවාලී ය. එකෙණෙහි ඔහුගේ දිව්‍යානුභාවයෙන් ශතපටල සහස්‍ර පටල නගාලා දස දිගින් මේඝ නාද පතුරුවා සිය ගණන් අකුණු සෙණ විදුලිය ගස ගසා, තල් කඳ පොල් කඳ සා ජලධාරාවෝ මහපොළොව සාරාගෙන දිවන්නාහු ඒ මහ සැඬවතුරු නොයෙක් තුරු දහස් ගලාගෙන බෝමැඩ කරා වැද මාගේ ස්වාමිදරුවාණන්ගේ සිවුරු කණක් පමණක් තෙමාලිය නොහී උන්වහන්සේගේ විඩා නිවා බුදුමගුලට පොකුරු වැසි පූජා කොට ගියේය.

ඉක්බිත්තෙන් “ශ්‍රමණ භවත් ගෞතමයෝ අද බුදුවන්නට රිසි පැලෑ දෝ හෝ සැඬ වතුරෙන් ගොස් කවර මුහුදෙක වැටී ගියේ දෝ හෝ”යි බලනුයේ මාගේ ස්වාමි දරුවාණන්ගේ අභ්‍ර ය, මහික ය, ධූම ය, රජස ය, රාහු යයි යන පඤ්චොපක්ලේශයෙන් විරහිත වූ පූර්ණ චන්‍ද්‍රයා සේ දිලියෙන්නා වූ ශ්‍රී මුඛය දැක ප්‍රහාර ලත් මතැතකු සේ කිපී “මොහු අද මිරිකා සුණු විසුණු කෙරෙමි” මහත් වූ පර්වත වර්ෂාවක් වස්වා ලී ය. එ කෙණෙහි යොදුන් දෙ යොදුන් සා ගිනි ගෙන දිලියෙන ලක්‍ෂ ගණන් පර්වත ආකාශයෙන් බෝමැඩ කරා දිව අවුත් මාගේ ස්වාමිදරුවන්ගේ ශීල තේජසින් ඒ පර්වතයෝ පෙරළී සුවඳ මල් වට ව බුදුන් වටා පෙළ මල් පූජාවක් සේ සිටගත එ කල වසවත් මර “කිමෙක් දෝ හෝ, ගොයුම් මහණ සුණු විසුණු ව ගියෝ දෝ හෝ බෝමැඩ හිඳිනට රිසි පැලෑ දෝ හෝ”යි බලනුයේ මාගේ ස්වාමිදරුවන්ගේ රන් කැටපතක් සේ දිලියෙන ශ්‍රී මුඛය දැක

තව ද නියපිට ගල් ගැසූ මතැතකු සේ කිපී “මොහුගේ රන්වන් වූ ශරීර හා තෙල කන් නාසා ලියා හරවමි”යි අබිවැස්සක් වස්වා ලී ය. එකෙණෙහි ඒක ධාරාය, ද්විධාරාය, කඩුකොන්ත ශර තෝමරාදී ඒ සූක්‍ෂ්ම වූ ආයුධ වර්ෂාවෝ ආකාශයෙන් බැස මාගේ බුදුන්ගේ සූක්‍ෂ්ම වූ ප්‍රඥා පාරමිතා බලයෙන් ඒ නන් නන් පෑ ඇති ආයුධයෝ ද පෙරළී පෙළමල් පූජාවක් මෙන් සිට ගත්හ. ඉක්බිත්තෙන් ‘මහණ භවත් ගෞතමයෝ අවි පහරින් කැපී ගියේ දෝ හෝ”යි බලනුයේ මාගේ ස්වාමිදරුවන්ගේ රන් පියුමක් සේ බබලන මුව පියුම දැක ගින්නට පිදුරු දැමුවා සේ කිපී “අද මොහු දවා හළු කෙරෙමි”යි අඟුරු වැස්සක් මවා ලී ය. ඒ සහළගුරු ධාරාවෝ දිව මාගේ ස්වාමිදරුවන්ගේ පාරමිතා තේජසින් පෙරළී පද්මරාග මාණික්‍ය පූජාවක් සේ ශ්‍රීපාද මූලයෙහි වගුළහ. ඉක්බිත්තෙන් ඒ මර දෙව්පිත් “සිදුහත් කුමර ගින්නෙන් දා මළේ දෝ හෝ, වජ්‍රාසනයට ලොභ පැලෑ ගියෝ දෝ හෝ”යි සතුටු ව බලනුයේ අඳුරු බිඳ පර්වත මුදුනෙක ඝන රන් කඳක් සේ දිලියෙන මාගේ ස්වාමිදරුවන්ගේ ශ්‍රී ශරීරය දැක ගිනි දුටු ලුණු සේ තට තටයා දත් කකා කිපී ගිනිගෙන දිලියෙන අළු වැස්සක් බුදුන් මුදුනේ වස්වා ලී ය. ඒ අළු වර්ෂාව අන්තර්ධාන ව මාගේ ස්වාමිදරුවන්ගේ බුදු මඟුලට සඳුන් හුණු පූජාවක් සේ විය.

තව ද “ගොයුම් මහණ හුණු අළුයෙන් මෙළේ දෝ හෝ”යි බලනුයේ මාගේ ස්වාමිදරුවන් සඳුන් රුකක් සේ සිහිල් වූ ශ්‍රී ශරීරයෙන් වැඩහුන්නවුන් දැක තව ද අප්‍රසාද ව තෙල් දුටු ගිනි සේ කිපී වැලි වරුෂාවක් වස්වා ලී ය. ගිනිගෙන දිලියෙන්නා වූ සියුම් වූ ඒ වැලි සමූහයෝ බුදුන් කරා පැමිණ බුදු මඟුලට පිදූ දිමුතු මුතු තලාවක් සේ පූජා කොට සිට ගත්හ. තවද බලනුයේ සුපුෂ්පිත වූ ශාලද්‍රැමයක් සේ ශෝභාවත් ව වැඩහුන් බුදුන් දැක සුළං දුටු ගිනිකඳක් සේ කිපී තව ද ගිනිගෙන දිලියෙන කළල් වැස්සක් වස්වා ලී ය. ඒ වර්ෂාව මාගේ බුදුන් කරා පැමිණ බුදු මඟුලට ගෙනා ගඳ කළල් සමූහයක් සේ පූජා වෙමින් සිටගත. තව ද “කිමෙක් දෝ හෝ”යි බලනුයේ දෑරඟ මිණි රුවනක් සේ දිලියෙන බුදුන් දැක චතුරංගයෙන් යෙදුනා වූ ඝන අඳුරක් මවා ලී ය. තව ද ඔහු මැවූ ඒ ඝනාන්‍ධකාරය බුදුන් කරා පැමිණ හිරු දුටු අඳුරක් සේ අන්තර්ධාන ව ආලෝකයෙන් පූජා කෙළේ ය. “කිමෙක් දෝ හෝ ගොයුම් මහණ අන්‍ධකාරයෙන් මූර්ච්ඡා වී දෝ හෝ තවත් විදුරස්නේ ම උන්නේ දෝ හෝ”යි බලනුයේ පර ව නටුයෙන් ගිලිහුණු කනක තාල ඵලයක් සේ මාගේ ස්වාමිදරුවන්ගේ මෛත්‍රීන් පිරුණා වූ ශ්‍රී මුඛය දැක තව ද සිංහයකු දුටු ඇත් පොව්වකු සේ බුදුන්ට කිපි කිපී මෙසේ වාත යුද්ධය, වර්ෂා යුද්ධය, පර්වත යුද්ධය, ආයුධ යුද්ධය, අඞ්ගාර යුද්ධය, භෂ්ම යුද්ධය, වාලුකා යුද්ධය, කළල් යුද්ධය, අන්‍ධකාර යුද්ධය යි යන නව මහා යුද්ධයකින් මාගේ ස්වාමිකරුවන්ට කිසි හිංසාවක් කළ නුහුනුයේ තමා කළ කළ යුද්ධය ම උන්වහන්සේට පූජා වන සේ දැක බුදුන්ට ළංවිය නොහී දුරු ව සිටිනා තමාගේ මර සෙනග බලා කිපී “කොල! හැම සිටුන. තෙල සිද්ධාර්ථයා වහා ගනුව, අනුව, සිඳුව, බිඳුව, විදුව, බඳුව, ගෙනව, සුණු විසුණු කරව, බුදු වීමට රිසි පලවව, ඔහු නො යා දෙව”යි කිය කියා තමාගේ ගිරිමේඛලා නම් ඇතු මෙහෙය මෙහෙයා චක්‍රායුධ ය ඔසවාගෙන ස්වාමිදරුවන්ගේ අභිමුඛයට අවුත් සිට සිසාරා බුදු බඳට චක්‍රායුධය දමා ලී ය.

ඒ චක්‍රායුධය ඉදින් දමාලුව හොත් එක්ලක්‍ෂ අට සැට දහසක් යොදුන් මහමෙර හුණ කිළිලක් සේ පොලු ගසා දෙකට කොට පියා හිස පලා යේ ම ය. මුහුදට ගැසුවහොත් මුහුද දිය වියලා සිස් කෙරේ ම ය. අහසට දැමුව හොත් දොළොස් හවුරුද්දක් වැසි නැති කෙරේ ම ය. මෙසේ ආනුභා සම්පන්න ඒ චක්‍රායුධය මාගේ ස්වාමිදරුවන්ගේ බඳට ගැසුවා ළංවිය නොහී ආකාශයට දැමූ අහස්පතක් සේ, වෙවුල වෙවුලා පැන නැඟී ඔබගේ මහත් වූ පුණ්‍යානුභාවයෙන් මල් වියනක් පිදුවා සේ, සිරසට පූජා කෙරෙමින් දිලිහි දිලිහී සිටගත. ඒ චක්‍රායුධය මරහු දමන්නා දුටු මර සෙනග “කොල! එතෙකින් සිද්ධාර්ථ කුමාරයා බලනු කිමෙක් ද? එතෙකින් නට ම ය. අපගේ මාර දිව්‍ය පුත්‍රයා තමාගේ ආත්ම රක්‍ෂාවට තුබූ ඇති දෑ පටන් කිසි තැනකට නොහළ චක්‍රායුධය සිසාරා දමන්නහුය. එතෙකින් බලනු කිම් දැ”යි මහත් වූ පර්වත සිසාරා එක පැහැර දමාලීය. ඒ ලක්‍ෂ ගණන් පර්වතයෝ බුදුන් කරා පැමිණ සුවඳ මල්වට සේ පූජාවෙමින් සිට ගත්හ. එ කෙණෙහි සෙසු දේවතාවෝ සක්වළගල වටා සැඟවි සැඟවී සිට කර ඔසවා බල බලා “අද සිද්ධාර්ථ කුමාරයන්ගේ රූපශ්‍රී ගිය. වසවත් මර චක්‍රායුධය දැමී ය”යි කිය කියා භයගෙන සිටිති.

එ කෙණෙහි වසවත් මර චක්‍රායුධයෙනුත් බුදුන් සොලවාලිය නොහී ඉදිරියෙහි සිට කප් ගින්නක් සේ කෝපාග්නීන් දිලිහි දිලිහී පිටිතොල් දත් කකා රතැස් බම බමා දහසක් අතින් ගත් දහසක් අවි බුදුන් අභිමුඛයට අමෝරා “දැන් දැන් තා දෙ කකුල ගෙන පරසක්වල ගසමි. මාගේ තෙල වජ්‍රාසනයෙන් වහා නැඟී සිටැ යව”යි කී ය.

සෙසු සර්වඥවරයන් බුදු වන දා මාරයෝ මෙසේ ම දිව පර සක්වළ මුවවිට සිට හෝ යොදුන් සිය ගණනෙක සිට හෝ ඒ ඒ බුදුන්ගේ පුණ්‍ය ප්‍රභාවයෙන් දිලියෙන ශ්‍රි මුඛය දැක බුද්ධ තේජසින් වෙවුලා පැරද පලා යන්නාහු ම ය. මාගේ ස්වාමිදරුවෝ වෙස්සන්තර ජාතියෙහි ජාලිය කුමාර - කෘෂ්ණජිනා නම් දරු දෙදෙනා ජූජක බමුණාට දන් දී ඔහු දරුවන් මර මරා පිටින් ලේ වගුර වගුරා බැඳගෙන යන වේලෙහි කෘෂ්ණජිනා නම් දියණියෝ තමන්ගේ රන් පියුමක් වන් මුඛය පියාණන් අභිමුඛයට දක්වාලා:

වං තං කණ්හා ජිනාවොච - අයං මං තාත බ්‍රාහ්මණො,

ලට්ඨියා පතිකොටෙති - ඝරෙ ජාතංව දාසියා - යි.

යන මේ ගය කිය කියා ඇඬුවාහු ය. එ වේලෙහි මාගේ ස්වාමි දරුවාණන් වහන්සේ දියණියන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් මහත් වූ ශෝක කොට “දරු දීම් තබා බුදු විම් තබා ලෝ වැඩ තබා දිවගෙන ගොස් බමුණා හූ වැටියක් සේ බැඳ පෙරළා පියා මාගේ දරුවන් හැරගෙන එම් දෝ හෝ”යි හීන වීර්‍ය්‍ය ව විතර්කයක් සිතූ සේක. ඒ අඩුව හේතු කොට ගෙන අවුදින් ඒ වසවත් මර බෝමැඩට වැද ‘තෙල හස්නෙන් බැසපිය”යි භයඞ්කාර වූ බස් කීය. එසේ ද වුවත් මාගේ ස්වාමිදරුවාණෝ නිර්භීත ව වැඩ හිඳ සිනාවක් පහළ කොට තමන්වහන්සේගේ මුඛ නමැති පද්මය විවෘත කොට කුරවීක නාදයක් සේ ලීලොපෙත වූ ශබ්දයෙන් වදාරන සේක් “පාපී වූ වශවත්ති මාර ය! මේ වජ්‍රාසනය නිසා සාරාසංඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි පාරමිතා පුරා මහ පොළොව පරයා ඇඟ මස් ලියා දිනිමි. මුහුදු පරයා ලේ දිනිමි. මෙර පරයා ඉස් දිනිමි. තරු පරයා ඇස් දිනිමි. මේ වජ්‍රාසනය ම පත පතා ජීවිතය සමාන වූ අඹු දරුවන් බැඳ දුන් වැල් ගොඩ ම මෙසේ වූ මෙරගල් දහසකටත් උස්ම ය. සමතිස් පැරුම් පිරීමි. රාජ්‍යය දන් දිනිමි. එසේ හෙයින් මේ වජ්‍රාසනය මට ම හිමි ය. එක කලෙකත් පෝසකක් සා මස් කැටියකුත් දන් නො දී, ඇඟින් ලේ බින්දුවකුත් දන් නො දී, ඇසකුත් දන් නොදී, ඉසකුත් දන් නොදී, අඹු දරු කෙනකුනුත් දන් නොදී, පාරමිතාවකුත් නුපුරා, මේ අස්න තට කෙසේ හිමි වී ද, මට කෙසේ නොහිමි වී ද, තාගේ කල තාගේ වශවර්ති භවනයෙහි නො නැඟි මාගේ මේ බෝමැඩ පැන නැංගෙනැ”යි වදාළ සේක. එ බසට වසවත් මර කිපි කිපී මම් තට වඩා පැරුම් පිරීමි, ඉස් ඇස් මස් ලේ අඹු දරුවන් තට වඩා මම දිනිමි. එසේ හෙයින් මේ වජ්‍රාසනය මට ම නැංග. නො දොඩා වහා පැන නැඟෙව”යි කී ය. එ කල මාගේ ස්වාමි දරුවෝ “පාපී වූ වශවර්ති මාරය, මම ත් “පැරුම් පිරීමි”යි තොයිත් “පැරුම් පිරීමි”යි කියයි. තට දෙස්සු කවුරු”යි වදාළ සේක. එ කෙණෙහි වශවර්ති මාරයා මර සෙනගට දහසක් අත් දිගු කොට “මාගේ මර සෙනග දෙසැ”යි කීය. එකෙණෙහි යක්‍ෂ සේනාව ‘අපි දෙසැ”යි “අපි දෙසැ”යි අත් නඟා කියන ශබ්ද ඝෝෂාව පොළොව පැළෙන අඩක් සේ, සමුද්‍ර ඝෝෂාවක් සේ, බඹලොව ගසා සිටගත.

ඉක්බිත්තෙන් වසවත් මර කියනුයේ “සිද්ධාර්ථ කුමාරයෙනි, මා පැරුම් පිරූ නියාවට මේ සා මර සෙනඟක් ලවා දෙස් කියවාලීම්. තොප පැරුම් පිරූ නියාවට එක දෙසක් කියවා බලගැ”යි කී ය. එ බසට ස්වාමිදරුවෝ “තෝ පණ ඇති නොමැදහතුන් ලවා දෙස් කියවූයෙහි ය. මම සිත් පෙවෙත් නැති මැදහත් කෙනකුන් ලවා දෙස් කියවාලමි”යි කියාලා රත් වලා ගබෙකින් නිකුත් විදුලියක් සේ රත් සිවුරු ගබින් රන්වන් වූ දක්‍ෂිණ ශ්‍රී හස්තය දිගුකොට ලා මහීකාන්තාවට “මීකත! දීපඞ්කර පාද මූලයෙහි දී විවරණ ලදින් මා සමතිස් පැරුම් සිහි කළ වේලෙහි දස දහසක් මහීකාන්තාවන් හා සමග ගුගුරා තෝ සාධුකාර දුන්නෙහි වේ දැ”යි වදාරා “සෙසු ජාති හැර එක වෙස්සන්තර ජාතියෙහි මා අට හැවිරිදි කල දානයක් ආවර්ජන කළ දෑ ය, අලි ඇතු දන් දුන් දා ය, සඟ සතු මහ දන් දුන් දා ය, නුවරින් වංකගිරි පර්වතයට නික්මුණු දා ය, දරුවන් දන් දුන් දා ය, මද්‍රි දේවීන් දන් දුන් දා ය, පොකුරු වැසි වටදා ය, යන මේ සත් වාරයෙහි තෝ මහ හඬින් ගුගුරා ගර්ජනා කෙළෙහි වේ ද, දැන් මෙම් වසවත් මරහුගේ බොරු දෙස් අස අසා මහීකාන්තාව බැණ නො නැගේ”යි කියාලා ඒ ශ්‍රී හස්තය පොළොවට දිගු කොට ලූ සේක. එ කෙනෙහි මහී කාන්තා ශතඝෝෂාය, සහස්‍ර ඝෝෂා යයි එකවිට පවත්නා සක්වළක් සා ලෝ බෙරක් ගෙන මෙර ගලක් සා ලෝ දඬෙකින් ගැසුවා සේ දස දහසක් සක්වළ දස දහසක් මහ පොළෝ හා සමග මහ හඬින් ගුගුරා පැන නැගී ය. එ කෙණෙහි ම මහපොළොව පැළී එක් සිය සතිස් නරකවල ගිනි කඳු බුරා පැන නැංග. එ කෙණෙහි සියලු මර නෙසග පොළොව මහ හඬින් වෙවුල්වා මහ සුළඟින් දිවන පරඬලාපත් සේ දෙදෙනෙක් එක මග නො ගොස් ශීර්ෂාභරණ ග්‍රීවාභරණ උතුරු සළු වගුරුවා ගෙන හැම ආයාධ සලාගෙන දෑතින් මුහුණු වසාගෙන මරු නො බලා වෙවුල වෙවුලා පලා ගියහ. ඉක්බිත්තෙන් ඒ ගිරිමේඛලා නම් යෙල සියයක් යොදුන් මතැත් දෙදන බිම ඔබා මරණ භයින් වෙවුලා පිට හුන් මරු සලා හෙලා සොඬ හකුලා කට ලාගෙන වාලධිය අමුඬු හස්සෙන් සඟවාගෙන මහ හඬින් ගුගුර ගුගුරා මරු නො බලා පැන පලා ගිය. වසවත් මර ඇතු පිටින් බිම හී දාසක් අවි සලා “සිද්ධාර්ථ කුමාරයෙනි! තොප බල ඇති බව දනිම් ම ය. තොප තෙද ඇති බව දනිම් ම ය. තොප පින් ඇති බව දනිම් ම ය. තොප සමතිස් පැරුම් පිරූ බව දනිම් ම ය. තොපගේ වීරත්වය මුළු ලොවට හඟවමි යි තොපගේ බල දක්වන්නට අයිමි. ක්‍ෂමා කරව. ක්‍ෂමා කරව”යි තුන් යලක් කියා තමාගේ වශවර්ති දිව්‍යලෝකයට දිව ලජ්ජාවෙන් තමාගේ සෙනග මුහුණ බැලිය නො හෙනුයේ යහනෙහි මුණින් සුසුම් ලලා වැද හොත්තේ ය.

මහී ගර්ජන නම් පූජාව

එ කෙණෙහි සක්වළගල වටා නො ගොසින් සිටි මේ සක්වළ දිව්‍ය සේනාව පැරද දිවන්නා වූ වසවත් මරු හා සෙනග දැක “වසවත් මරු පැරද ගියේ ය. අපගේ සිද්ධාර්ථ කුමාරයෝ ජය ගෙනපූ යැ”යි මේ සක්වළ නයි පරසක්වළ නයින්ට කියා ගියහ. මේ සක්වළ ගරුඬයෝ පරසක්වළ ගරුඬයන්ට කියා ගියහ. මේ සක්වළ දෙවියෝ පරසක්වළ දෙවියන්ට කියා යවූහ. මේ සක්වළ බ්‍රහ්මයෝ පරසක්වළ බ්‍රහ්මයන්ට කියා යවූහ. එ බස් අසා දස දහසක් සක්වළ ශක්‍ර බ්‍රහ්ම නාග සුපර්ණණ ගරුඬ ගන්‍ධර්වාදි දෙවියෝ දිවමල් සුවඳ ආදීන් ගෙනවුත් ස්වාමිදරුවන් වටා සිට දොහොත් මුදුන් දී ජය පූජා කළහ. කියනලදුයේ මැයි.

ජයෝ හි බුද්ධස්ස සිරීමතො අයං

මාරස්ස ච පාපිමතො පරාජයො,

උග්ඝොසයුං බෝධිමණ්ඩෙ පමොදිතා

ජයං තදා දේවගණා මහේසිනො යි.

මෙසේ මාගේ බුදුහු එදා රෑ හිරු අස්තයට නො යන තුරු මරසෙනඟ බිඳපියා බෝමැඩ අරා වැඩහිඳ දසපෑ ගිය වේලෙහි අනන්තාපරියන්ත වූ ලෝකධාතුයෙහි සතුන්ගේ පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ ලදින්, විසිපෑ ගිය වේලෙහි අසඞ්ඛෙය්‍ය ගණන් සක්වළ පර්යන්තයෙහිත් තුබූ වස්තුවක් කරතලාමලකයක් සේ පෙනෙන්නා වූ දිවස් ලදින්, තුබූ දස පැයෙහි ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි ප්‍රඥාව බහාලූ සේක. එ වේලෙහි මාගේ ස්වාමිදරුවන් අනුලෝම ප්‍රතිලෝමයෙන් ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි ධර්මයන් සම්මර්ශනය කරත් කරත් දස දහසක් සක්වළ මහපොළෝ දොළොස් දොළොස් වාරය බැගින් මෙසේ එක්ලක්‍ෂ විසි දහසක් වාරයෙහි ගර්ජනා පතුරුවා සාධුකාර දෙන්නා සේ මහීගර්ජනා නම් වූ පූජාවක් කෙළේ ය.

මෙසේ දසදහසක් සක්වළ එක පැහැර ගර්ජනා කරවා අනුක්‍රමයෙන් සෝවාන් මාර්ගයට පැමිණ සෝවාන් ඵලයට පැමිණ, සකෘදාගාමි මාර්ගයට පැමිණ, සකෘදාගාමි ඵලයට පැමිණ, අනාගාමි මාර්ගයට පැමිණ, අනාගාමී ඵලයට පැමිණ, අර්හත් මාර්ගයට පැමිණ, අර්හත් ඵලයට පැමිණ, ඉක්බිත්තෙන් මෙසේ අරුණු නැගෙන වේලෙහි සවාසනා කෙලෙසුන් නසා ලොවුතුරා බුදුව, අනන්තාපර්‍ය්‍යන්ත වූ සක්වළ බුදුන් නොදක්නා සත්ත්‍වයන් දැක උපන් මහා කරුණාවෙන් පෙර බුදුන් කල චාරිත්‍ර නො වරදවා සවනක් බුදු රැස් ඒ ඒ දිග විහිදුවා හළ සේක. ඒ බුදු රස් සමූහයෝ එක තෙනෙක අසුරු සණක් නො රඳා සක්වළ ගලින් සක්වළ ගල ගැසී නිල් වලාපටල සේ, රත් වලාපටල සේ, කිණිහිරි සපු මල්කැන් සේ, සුදු පිළි හඳනා සේ, මඳට දම් වළලු සේ, පබසර කඳන් සේ, අද දක්වා දිව දිව සත්ත්‍වයන්ගේ ප්‍රේම වඩ වඩා මනෝඥ ව දිවන්නාහු ම ය. ඒ බුදු රස් දුටු දුටු සත්ත්‍වයෝ විශේෂ වූ වර්ණයක් බලවයි එහි සිත් අලවා ඒ කුශල මූලයෙන් ම මේ මඟුල් සක්වළ ඉපැද බුදුන් දැක සසරින් ගැලවෙන්නාහුම ය.

මෙසේ මාගේ ස්වාමිදරුවන් ලොවුතුරා බුදු වූ වේලෙහි දස දහසක් සක්වළ මඟුල් ගෙයක් සේ සැරහී ගිය එ දා දිවු දෙවියන් පූර්ව සක්වළ මෝවිට සිට නැගූ ධ්වජයේ කකුල් පෑළ සක්වළ මෝවිට ගැසෙයි. පෑළ සක්වළ මෝවිට සිට නැගූ ධ්වජයේ කකුල් පූර්ව සක්වළ මෝවිට ගැසෙයි. උතුරු සක්වළ මුදුනෙහි සිට නැගූ ධ්වජයේ කකුල් දකුණු සක්වළ මුදුනෙහි ගැසෙයි. දකුණු සක්වළ මුදුනෙහි සිට නැගූ ධ්වජයෙහි කකුල් උතුරු සක්වළ මුදුනෙහි ගැසෙයි. පොළෝ තෙලෙහි සිට නැගූ ධ්වජ බඹලෝ ගස සිටගත. බඹලෝ බැඳි ධ්වජයෙහි කකුල් පොළෝ තෙලෙහි ගැසෙයි. දසදහසක් සක්වළ මුළුල්ලෙහි මහපොළෝ ගුගුරා පී ය. සියලු ලෝ ඒකාලෝක ව ගිය. ජාත්‍යන්‍ධෙයා් ඇස් ලද්දාහු ය. ගොළුවෝ කටහඬ ලද්දාහු ය. බධිරයෝ කර්ණරසායන ලද්දාහු ය. පිලහු ගමන් ලද්දාහු ය. කුරු කුදුහු ආරෝහ පරිනාහ ලද්දාහු ය. හැම බැඳුම් සිඳී ගිය, නරක ගිනි නිවී ගිය, ප්‍රේතයන්ගේ සා දුක් නිවී ගිය, තිරිසනුන්ගේ භය සන්හිඳී ගිය, අසාධ්‍ය වූ ව්‍යාධි සන්හිඳී ගිය, ප්‍රිය වචනයෙන් ලොව සැදී ගිය. අශ්වයෝ හේෂාරව කළහ. ඇත්තු කුඤ්චනාද කළහ. සිංහයෝ සිංහනාද කළහ. සියලු තිරශ්චීනයෝ මධුර නාද ම කළාහු ය. සියලු ආභරණයෝ රාව කළාහු ය. දස දිග ප්‍රභාස්කන්‍ධයෝ දිවයන්නාහු ය. සුවඳ මඳ පවන් හැමී ගිය, අකාලයෙහි වර්ෂා විය. මහපොළොව පළා දිය කඳු පැන නැංග. සියලු පක්‍ෂීහු ආකාශයෙන් ගමන් නැතිව පොළොවට ම බටුවාහු ය. ගංහෝවල යන දිව නැවතී ගිය. මහ මුහුද ලුණුදිය නැති ව ගිය. මුහුද පස්පියුමෙන් සැදී පිරී ගිය දියෙහි ගොඩෙහි සියලු මල් පිපී ගිය. නන් තුරු ලිය මල් භාරයෙන් ගැවසී ගත. බිම් පලා ගල් පළා දඬු පියුම් පෙනී ගිය. ආකාශය මල් වියනින් වැසී ගිය. මුළු ලොවැ මල්වැසි ධාරා වැසී ගිය. මුළුලොව ධ්වජ මාලාවෙන් පිරී ගිය. යන මේ දෙතිස් පූර්ව නිමිත්ත නම් වූ ආශ්චර්‍ය්‍ය පූජාවෝ ද පහළවූහ. එදා දෙවියන් කරන පූජා හා මාගේ ස්වාමිදරුවන් ඒ ආශ්චර්‍ය්‍ය හා බුදු මඟුල් වෙන වෙන වර්ණනා කෙරෙම් නම් මාගේ එක මුඛයක් තබා සියක් දසසක් ලක්‍ෂයක් මුඛයෙනුත් කියා නිමවනු බැරි ම ය.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ ලොවුතුරා බුදුව සියලු ධර්මස්කන්‍ධයන් මෙනෙහි කොට මීයෙන් පිරී ගිය භාජනයක් යට අවකාශනැත්තෙන් ඉතිර වැගිරෙන්නා සේ දහම් අමායෙන් පිරුණා වූ ශරීර භාජනයෙන් සද්ධර්මාමෘතය උතුරුවා සුවාසූදහසක් ධර්මස්කන්‍ධයනට පළමු වනු වූ:-

අනෙකජාති සංසාරං - සන්‍ධාවිස්සං අනිබ්බිසං,

ගහකාරකං ගවෙසන්තො - දුක්ඛා ජාති පුනප්පුනං.

ගහකාරක දිට්ඨොසී - පුන ගෙහං න කාහසි,

සබ්බා තෙ ඵාසුතා භග්ගා - ගහකූටං විසංඛිතං,

විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා-ති.

උද්දාන වසයෙන් මේ මඞ්ගල ගාථාවන් දේශනා කර වදාළ සේක.

මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ බෝමැඩ අරා බුදු වූ වේලෙහි කාළ නම් දිව්‍ය නාගරාජයා හා නළුවන් හා සමග කළා වූ සැටදහසක් දිව්‍ය නාගාදි පූජා ය, මාරයුද්ධයෙහි දී ලද වාතවස්සාදි එකොළොස් මහා යුද්ධ පූජා ය, බුදු වන වේලෙහි මහීකාන්තාවන් කළ එක්ලක්‍ෂ විසිදහසක් පූජා ය, දෙතිස් මහා පූර්ව නිමිත්ත නම් වූ ආශ්චර්‍ය්‍ය පූජා ය, තව ද දසදහසක් සක්වළ වරම් ශක්‍ර සුයාම සන්තුෂිත සුනිර්මිත පරනිර්මිත කාමාවචර දිව්‍යරාජයන් කළ අනූදහසක් පූජා ය, තවද දස දහසක් සක්වළ රූපාවචර බ්‍රහ්මරාජයන් කළ එක් ලක්‍ෂ පනස් දහසක් බ්‍රහ්ම පූජා ය, යන මේ සාරලක්‍ෂ විසිදහස් තෙසාළිස් මහා පූජාවක් ලත් හෙයිනුත්, අවශේෂ වූ අසංඛෙය්‍ය පූජා ලත් හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, ස්වයම්භූ වූ, දශබලධාරී වූ, සර්‍වශාස්තෘ වූ, සර්‍වඥ වූ, දීපදොත්තම වූ, මුනීන්‍ද්‍ර වූ, භාග්‍යවත් වූ, ලෝකනාථ වූ, විනායක වූ, සුගතෙන්ද්‍ර වූ, මාගේ ස්වාමිදරු වූ, මාගේ චින්තා මාණික්‍ය වූ, මාගේ ම කල්පද්‍රැම වූ, මාගේ ම නිධාන වූ, මාගේ ස්වාමිදරුවෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො;

අත්‍ථානුරූපං අරහං ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං, යි.

මේ පූජාවලියෙහි අප බුදුන් බුදු වන දා ලද

බෝධිමණ්ඩල පූජා කථා නම් වූ එකොළොස් වන පරිච්ඡේදය නිමි.

12. මහාබ්‍රහ්මයාගෙන් ලද සාධුනාද පූජා

තව ද අප බුදුන් ධර්මාරාධනාවෙහි මහාබ්‍රහ්මයාගෙන් ලද සාධුනාද පූජා නම් කවරහ? යත්;

මෙසේ දීපඞ්කර පාද මූලයෙහි පටන් අනුක්‍රමයෙන් වැඩ බෝ මැඩ වැඩහිඳ මරසෙන් බිඳ බුදුවැ උදන් පවත්වා, එම වජ්‍රාසනයෙහි මැ ලෝවැඩ වඩා වැඩහුන්නා වූ මාගේ ස්වාමිදරුවෝ මෙසේ සිතා වදාළ සේක. සාරාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි ඉස් දී මස් දී ඇස් දී ලේ දී අඹුදරුවන් දී බොහෝ දුක්ඛ සම්භාරයෙන් බෝධිසම්භාර පුරා මේ වජ්‍රාසනය හා ශ්‍රී මහා බෝධිය ලදිමි, මේ පර්‍ය්‍යඞ්කය නම් මාගේ ජය පර්‍ය්‍යඞ්කය ය, මේ බෝධිය නම් මාගේ ජය මහාබෝධිය ය. මරහු මවාලු කල්පාන්තවාතයක් සේ පර්වත ඔසවා දිවන ඒ සා මහත් සැඩ පවනෙහි පත්‍රාඞ්කුරයකුත් සැලී නොනැංගේ ම ය. මෙම ආසනයෙහි මෙම බෝකඳ පිටලා වැඩහිඳ කෙලෙසුන් ගෙවා බුදුව මුළුලෝ මුදුන් පත්වීමි. මේ මේ කාරණයෙන් මේ විදුරස්න මට මහා වැඩ වැඩු ය. ඒ හැර නො නැගෙමියි සිතා; කෙළ ලක්‍ෂ ගනන් සමවත් සමවැද සත්දවසක් මුළුල්ලෙහි ම නොසැලී වැඩහිඳ එම වජ්‍රාසනයෙහි ම දවස් යැවූ සේක. එසේ වැඩහිඳිනාකල සමහර දෙවියෝ සිතන්නාහු සිද්ධාර්ථ කුමාරයෝ වජ්‍රාසනය හැර තව දක්වා නො නැගෙති. තව බුදු නුවූවාහු වන. තව බුද්ධකෘත්‍ය නො නිමියේ වනැ යි විතර්ක සිතුවහු ය.

අනිමිසලෝචන පූජාව

ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ මෙසේ පළමුවන සතියෙහි වජ්‍රාසනයෙහි ඵලසමාපත්තීන් වැඩහිඳ දෙවියන්ගේ සැක දුරු කෙරෙමි යි දෙවන සතියෙහි වජ්‍රාසනයෙන් ආකාශයට පැන නැගී මොහොතක් කල් යමාමහ පෙළහර දක්වා දෙවියන්ගේ සැක දුරු කොට ශ්‍රී මහා බෝධියට ඊසාන කොණට ආකාශයෙන් බැස ‘මට උපකාරී වූ මේ වජ්‍රාසනයට හා ශ්‍රී මහාබෝධියට ප්‍රිය වස්තුවක් පුදමි’යි සිතා ඇසිපිය නො සොල්වා අනිමිස ලෝචනයෙන් බෝ කඳ බලා සිට ඉන්‍දනීල මාණික්‍ය සඟළක් පුදන්නා සේ තමන්වහන්සේගේ පස්පෑයෙන් දිලියෙන ඇස් සඟළින් අනිමිස ලෝදන නම් පූජාවක් කොට සත් දවසක් ධ්‍යාන සුවයෙන් වැඩ සිටි සේක. ඒ වැඩ සිටි තැන දැන් අනිමිස ලෝචන නම් චෛත්‍යයක් වි ය.

මෙසේ වැඩසිටි තැනට හා වජ්‍රාසනයට හා අතුරෙහි පූර්ව සක්වළැ මුඛපාටයෙහි පටන් පශ්චිම සක්වළ මුඛපාටය දක්වා දෙවියෝ රුවන් සක්මනක් මැවූහ. මාගේ ස්වාමිදරුවෝ මෙසේ දෙවන සතියෙහි අනිමිසලෝචන පූජාවෙන් දවස් යවා තුන්වන සතියෙහි දෙවියන් මැවූ ඒ රුවන් සක්මනැ සක්මන් කළසේක. ඒ ස්ථානය දැන් රත්නචංක්‍රමණ චෛත්‍යය නම් විය.

සද්ධර්ම නමැති රත්න සම්මර්‍ශනය

ඉක්බිත්තෙන් දෙවියෝ ඒ ශ්‍රි මහා බෝධියට වායව්‍යා කොනෙහි රුවන් ගෙයක් බුදුන්ට මැවූහ. එකල ස්වාමිදරුවෝ තුන්වන සතියෙහි රුවන් සක්මනැ මෙසේ දවස් යවා සතරවන සතියෙහි දෙවියන් මැවූ රුවන් ගෙට සක්මනින් බැස පලක් බැඳ වැඩ හිඳ රජයක් ලද්දා වූ සක්විති රජකු නොයෙක් රුවනින් පිරූ භාණ්ඩාගාරවල දොර හරවා සිත් සේ වෙන වෙන නන් විසිතුරු රුවන් බලා අගයකොට ලේකම් බලා සතුටුවන්නා සේ, මාගේ ඒ සද්ධර්ම චක්‍රවර්තීන් වහන්සේ ද බුද්ධරාජ්‍යය ලදින් සද්ධර්ම නමැති රත්න සමූහයන් සත්දවසක් මුළුල්ලෙහි විශේෂයෙන් වෙන වෙන බලා වදාළ සේක.

කෙසේ බැලූ සේක් ද? යත්:-

මම බුද්ධරාජ්‍යය ලදින් පන්සාළිස් හවුරුද්දක් හිඳ බුද්ධ ශ්‍රී විඳිමි යි මාගේ ශාසනයෙහි ශාරිපුත්‍ර ස්ථවිර ප්‍රධාන අසීති මහා ශ්‍රාවකාදි කෝටිගණන් භික්‍ෂුගණයා චන්‍ද්‍ර සූර්‍ය්‍ය දිව්‍ය පුත්‍රයන් සේ ශෝභාවත් ව සසුන් බබුළුවති යි මාගේ මේ ශාසනය මෙයින් මතු පන්දහසක් හවුරුදු පවතී. මාගේ භික්‍ෂූන්ට අනුශාසනා පිණිස විනය පිටකය දේශනා කෙරෙමි යි විනයෙජනයන් නිසා සූත්‍ර පිටකය දේශනා කෙරෙමියි මාගේ ප්‍රඥාවගේ සාර ය දක්වා දිව්‍ය බ්‍රහ්මයන්ට විජම්පිටක ය දේශනා කෙරෙමි යි මෙසේ සංක්‍ෂෙපයෙන් තුන්පිටකය කල්පනාකොට බලා වෙන වෙන පරීක්‍ෂාකරන්නා වූ මාගේ ස්වාමිදරුවෝ: තවද: විනය පිටකයෙහි පරිජි නම් මේ ය. පචිති ය නම් මේ ය. මහවග විනය නම් මේ ය. සුළුවග විනය නම් මේ ය. පරිවාර නම් මේ ය. ඊට සමන්තපාසාදිකා නම් වූ විනය අටුවා නම් මේ ය. සාරාර්ථදීපනී නම් වූ විනය ටීකා වශයෙන් නවඅනූදහස් දෙසිය පනස් ග්‍රන්‍ථසඞ්ඛ්‍යාවෙකැ යි බලා දැක්ක.

තව ද දෙවැනිව සූත්‍රපිටකයට වැද එහි පඤ්චමහාසඟියක් දැක, පළමුවන දික්සඟියෙහි ශීලස්කන්‍ධවර්ගය නම් මේ ය. මහා වර්ගය නම් මේ ය. පාළිවර්ගය නම් මේ යි තුන්වර්ගයක් දැක්ක. තව ද දෙවන මධ්‍යම සඟියෙහි මූලපණ්ණාස නම් මේ ය. මජ්ඣිම පණ්ණාස නම් මේ ය. උපරි පණ්ණාස නම් මේ යයි තුන් පණ්ණාසයක් දැක්ක. තවද තුන්වන සංයුත්සඟියෙහි [78]සගාථ වර්‍ගය නම් මේ ය නිදාන වර්‍ගය නම් මේ ය. ස්කන්‍ධ වර්‍ගය නම් මේ ය. සළායතන වර්‍ගය නම් මේ ය. මහා වර්‍ගය නම් මේ ය යි පඤ්චමහා වර්‍ගයක් දැක්ක. තව ද සතරවන වූ අංගුත්තර සඟියෙහි එක-ද්වික තිකනිපාත නම් මේ ය. චතුක්ක නිපාත නම් මේ ය. ඡ-සත්තක නිපාත නම් මේ ය. අට්ඨ-නවක නිපාත නම් මේ ය. දසෙකාදස නිපාත නම් මේ යයි ෂට්ප්‍රකාරයක් දැක්ක. තවද පස්වන කුදු ගොත් නම් සගියෙහි චූළනිර්දේශ නම් මේ ය. මහා නිර්දේශ නම් මේ ය. ප්‍රතිසම්භිදා නම් මේ ය. මහාවර්ගය නම් මේ ය. ජාතකපාඨ නම් මේ ය. නෙත් පවුරුණු නම් මේ ය යි ෂට්ප්‍රකාරයක් දැක්ක. තව ද සුමඞ්ගල විලාසිනී නම් වූ සූත්‍ර අටුවා මේ ය. ප්‍රපඤ්ච සූදනී නම් වූ සූත්‍ර අටුවා මේ ය. සාරාර්ථප්‍රකාශනී නම් වූ සූත්‍ර අටුවා මේ ය. මනොරථ පූරණී නම් වූ සූත්‍ර අටුවා මේ ය. සද්ධම්මජොතිකා නම් වූ සූත්‍ර අටුවා මේ ය. ප්‍රතිසම්භිදා නම් වූ සූත්‍ර අටුවා මේ ය. පරමාර්ථ ජොතිකා නම් වූ සූත්‍ර අටුවා මේ ය. උදාන නම් වූ සූත්‍ර අටුවා මේ ය. විමානවස්තු නම් වූ සූත්‍ර අටුවා මේ ය. ප්‍රේත වස්තු නම් වූ සූත්‍ර අටුවා මේ ය. ථෙරගාථා නම් වූ සූත්‍ර අටුවා මේ ය. ථෙරිගාථා නම් වූ සූත්‍ර අටුවා මේ ය. චර්‍ය්‍යාපිටක නම් වූ සූත්‍ර අටුවා මේ ය. බුද්ධ වංශ නම් වූ සූත්‍ර අටුවා මේ ය. දම්පියා නම් වූ සූත්‍ර අටුවා මේ ය. පන්සියපනස් ජාතක නම් වූ සූත්‍ර අටුවා මේ ය. විශුද්ධිමාර්ග නම් වූ සූත්‍ර අටුවා මේ ය. නෙත් පවුරුණු නම් වූ සූත්‍ර අටුවා මේ ය යි. මෙසේ සූත්‍ර පිටකයට වැද වෙන වෙන බලා තමන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාරණ පාළි හා අටුවා කථා සාරලක්‍ෂ එකොළොස් දහස් පන්සියයක් ග්‍රන්ථයෙන් සම්පූර්ණවී ය යි මෙසේ සූත්‍ර පිටකය දැක්ක.

තව ද අභිධර්‍මපිටකයට වැද ධම්සඟුණු නම් වූ විජම පාළි මේ ය. විභඞ්ග නම් වූ විජම් පාළි මේ ය. ධාතු කථා නම් වූ විජම් පාළි මේ ය. පුද්ගලප්‍රඥප්ති නම් වූ විජම් පාළි මේ ය. කථාවස්තු නම් වූ විජම් පාළි මේ ය. යමක නම් වූ විජම්පාළි මේ ය. පට්ඨාන නම් වූ විජම් පාළි මේ ය. අර්ථසාලිනී නම් වූ විජම් අටුවා මේ ය. සම්මොවිනොදනී නම් වූ විජම් අටුවා මේ ය. පඤ්චක නම් වූ විජම් අටුවා මේ ය යි මෙසේ විජම් පිටකයෙහි ශ්‍රීමුඛ පාළි හා අටුවා කථා එක්ලක්‍ෂ විසිදහස් දෙසිය පනස් ග්‍රන්ථ සඞ්ඛ්‍යාවෙකැයි දැක්ක.

මෙසේ තුන්පිටකය මුලපටන් අග දක්වා යැ. අගපටන් මුල දක්වා යැ. දෙකෙළවර පටන් මැද දක්වා යැ. මැද පටන් දෙකෙළවර දක්වා ය යි මෙසේ අනුලෝම ප්‍රතිලෝමාදී වසයෙන් සකසා පරීක්ෂා කොට බලා වදාරා, තව ද ඒ මාගේ ධර්‍මසංඛ්‍යාව විශේෂයෙන් බලත් නම්: රස වසයෙන් එකෙක් වෙයි. පිටක වසයෙන් තුනෙක් වෙයි. නිකාය වසයෙන් පසෙක් වෙයි. අඞ්ග වසයෙන් නවයෙක් වෙයි. ස්කන්‍ධ වසයෙන් සුවාසූ දහසක් පමණ වෙයි. ශ්‍රී මුඛ පාළි වසයෙන් මාම කරන්නා වූ දේශනාවෝ දෙලක්‍ෂ පන් සැත්තෑදහස් දෙසිය පනසක් පමණ ග්‍රන්ථ සඞ්ඛ්‍යාවෝ වෙති. මතු ශ්‍රී ලඞ්කාද්වීපයෙහි දී කප් ලක්‍ෂයක් පැරුම් පුරා ආ බුද්ධඝෝෂ නම් ආචාර්‍ය්‍ය ස්ථවිරයන් විසින් මාගේ අභිප්‍රාය දැන ලියනලද අටුවා කථා වසයෙන් තුන්ලක්‍ෂ එක් සැට දහස් සත්සිය පනස් ග්‍රන්ථ සඞ්ඛ්‍යාවෝ පමණ වෙති. ඒ මාගේ ආගම කථාවෝ හැමදෙන ම ග්‍රන්ථ සඞ්ඛ්‍යාවෙන් සලක්‍ෂ සත්තිස් දහසක් පමණ වෙති. භාණවාර සඞ්ඛ්‍යාවෙන් පස්විසි ලක්‍ෂ අටසාළිස් දහසක් බණවර වෙති. අක්‍ෂර ගණනාවෙන් දෙකෙළ තුන්ලක්‍ෂ සුවාසූ දහසක් අක්‍ෂරයෙන් පිරුණේ යැ. නය වසයෙන් අසඞ්ඛ්‍ය ගණන් නය යැ. ඒ මාගේ සියලු ධර්ම සමූහයෝ මැ අවීනෂ්ටවැ පන්දහසක් අවුරුදු පවත්නාහු ය යි මෙසේ මාගේ ස්වාමිදරුවෝ “අනෙකජාති සංසාරං” කියා පළමු ඔසවාගත් ශබ්දයෙහි පටන් ගෙන කෙළවර යමහල වැදහෙවැ “අප්පමාදෙන සම්පාදෙථ” යි යන මේ ශබ්දය අන්තකොට ඇති සියලු ධර්ම සමූහයන් ඒ දෙවියන් මැවූ රුවන් ගෙයි වැඩහිඳ ඒ සතරවන සතිය මුළුල්ලෙහි මෙනෙහි කොට නිමවා වදාළ සේක. ඒ සද්ධර්ම රත්නය වැඩහිඳ සම්මර්ශනය කළා වූ ස්ථානය දැන් රත්නඝරචෙතිය නම් වි යැ.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ සද්ධර්ම සම්මර්ශනයෙන් සතර වන සතිය යවා පස්වන සතියෙහි අජපාල නම් නිග්‍රොධ මූලයට වැඩැ පූර්වදිග් බලා වැඩහිඳ විමුක්ති සුව විඳ දවස් යවන සේක.

එසමයෙහි මාරදිව්‍යපුත්‍රයා පැරද ගොස් යහන් මතුයෙහි මුහුණින් හෙව බොහෝ දෙවියන් තමාට කරන නින්‍දා ඉවසාගත නොහී තමාගේ ඒ දිව්‍යභවනයෙන් සැඟවී ගොස් දඹදිව මාවතක් මැද මගී වෙසක් ගෙන දෙපා දිගුකොට ලා එක් අතක් නිකටට දීලා කරබා හිඳ සිතනුයේ “සිද්ධාර්ථ කුමාරයා මා නො කැමැති කරවා ම මහබිනික්මන් කෙළේ ය. සාවුරුද්දක් මුළුල්ලෙහි මට අවකාශයකුත් නොපෑයේ ය. දැන් මට මේ සා පරිභවයක් කොට බුදුව ගියේ ය. ඉතිකින් මාගේ විෂය ඉක්ම ගිය මාගේ ඒ සතුරාට සතර සතියෙක් ඉක්ම ගියේ යැ. ඒ සතුරා නොබෝ දවසකින් බොහෝ බණ කියා සියලු සතුන් නිවන් පුරයෙහි ඇදලා පීයයි. බොහෝ කලක් අඩුවක් නැති ව තුබූ මාගේ නරකවල අවකාශ කරවයි. මතු තබා තමා මවුකුස උපන් වේලෙහි ද, බිහි වූ වේලෙහිද, මහබිනික්මන් කළ වේලෙහි ද, බුදුවූ වේලෙහි ද, මාගේ නරකවල ඇවිලෙන ගිනිකඳ නිවා හැල් කරවා මා මුහුණ දැලිගා පී ය. ඒ සතුරා කෙසේ පිටු දකිම් දෝ හෝ” සිත සිතා ශෝක කරනුයේ සොළොස් කාරණයක් සිත සිතා සොළොස් හිරක් මග අවුරා ඇඟිල්ලෙන් ඇන්දේ ය.

කෙසේ ද? යත්;

මම සිද්ධාර්ථයාට දාන පාරමිතාවෙනුත් අඩුවෙම් මැ යි, ශීල පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, ප්‍රඥා පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, වීර්‍ය්‍ය පාරමිතාවෙනුත් අඩුවෙම් මැ යි, ක්‍ෂාන්ති පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, සත්‍ය පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, අධිෂ්ඨාන පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, මෛත්‍රී පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, උපෙක්‍ෂා පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, තව ද ඉන්‍ද්‍රිය පාරවරඥානයෙනුත් අඩුවෙම් මැයි, ආශ්‍රවක්‍ෂයකර ඥානයෙනුත් අඩුවෙම් මැයි, මහා කරුණා සමාපත්තිඥානයෙනුත් අඩුවෙම් මැයි, යමක ප්‍රාතිහාර්‍ය්‍යඥානයෙනුත් අඩුවෙම් මැයි, අනාවරණඥානයෙනුත් අඩුවෙම් මැයි, සර්‍වඥතාඥානයෙනුත් අඩුවෙම් මැ ය යි මේ සොළොස් කාරණයෙන් ඒ සිද්ධාර්ථයා මට ශත ගුණයෙන් සහස්‍ර ගුණයෙන් වඩනේ මැයි, ශතසහස්‍ර ගුණයෙන් මම ඕහට අඩුවෙම් මැය යි මඟ අවුරා මෙසේ සොළොස් හිරක් ඇඳ ඒ බල බලා සුසුම් ලලා කර බාගෙන හුන්නේ ය.

මාරදුහිතෘෘන්ගේ පැමිණීම

එ කල ඒ මාරයාගේ තණ්හා ය, රති ය, රාගා ය යි යන දූන් තුන්දෙන පියාණන්ගේ දිව්‍ය ප්‍රාසාදයට වැද, යහනේ වැදහොත් පියාණන් නො දැක අපගේ පියාණන් වහන්සේ කොයි ගියසේක් දෝ හෝ යි දිවසින් බලා මාවත් මැදෙක බිම ඇඟිලි ගගා සුසුම් ල ලා හුන්නවුන් දැක අසුරුසනක් කලින් එතනට දිව ‘පියාණන් වහන්ස! මේ කෙසේ වූ දුක්පත් කමෙක්ද? නුඹ සුසුම් ලන්නේ කුමන ශෝකයකින්දැ’යි විචාළහ. වසවත්මට කියනුයේ “දරුවෙනි! තෙපි නො දනු ද, මහණ භවත් ගෞතමයා දසදහසක් සක්වළ දෙවියන් බලා සිටියදී මා මරා ලුහුබඳවා මා මුහුණ දැලි ගා පී ය. දැන් මාගේ සතුරා බුදුව ගියේ ය. මට වූ ලජ්ජා නො දැනුද, මාගේ ආත්මාරක්‍ෂාවට තුබූ චක්‍රායුධය දක්වා දරුවෙනි! උදුරා ගත්තෙමේ වේදැ”යි කී ය. එ බසට දූ තුන්දෙන කියන්නාහු: “ස්වාමීනි! අපට නො කියා ඒ සා පිරිසක් ගෙන ගොස් කුමට විඩාවූ සේක්ද? අපට කිවහොත් එක බළ පිරිසකුත් නැති ව අපි තුන් දෙන ගොස් ඔහු කාම නමැති මලින් බදාගෙන මුවපොල්ලකු සේ පැලම්හ. දැනුදු ශෙක නොගෙන නුඹවහන්සේ දිව්‍යශ්‍රීන් ම හුන මැනව. ඇසිල්ලකින් ගොස් අප ඔහු නුඹ පාපිටට ගෙනන ලෙස් බලා වැටහුන මැනවැ”යි කීහ. එ කල මරදෙවි පිත් කියනුයේ “දරුවනි! කුමන බස් කියවු ද, සිද්ධාර්ථ කුමාරයා ඉතා මහත් වූ ආනුභාව හා මහත් වූ තේජස් ඇතියේ ය. ඔහු කා විසිනුත් ජයගත නොහැක්ක. සොලවාලිය හැකි සතෙත් නො වෙයි, මහා ධෛර්ය සම්පන්න පුරුෂයෙකැ”යි කී ය.

එ බසට දූන් කියන්නාහු “ස්වාමීනි අපගේ වසවර්ති දිව්‍යලෝකයට වඩා කාමභූමියක් නැති බැව් නො දන්නා සේක් ද ජීවිතයක් ඇති පුරුෂයෙක් ඉදිරියෙහි ඇසිල්ලෙක පෙනීගියමෝ නම් ඔහු කාමයෙන් පොළඹා ගැන්මෙහි අපට වඩා දක්‍ෂ වූ කාමාඞ්ගනාවෝ කාමලෝකයෙහි නැත්මය”යි මෙසේ පියාණන් ඉදිරියෙහි සිට වහසිබැණ පියා පියාණන් දෙව්ලොවට යවාලා තුමූ එතනින් අන්තර්ධානව දික්කළ අතක් වක් නොකරනතුරු ඇසිල්ලෙක බුදුන් වැඩහුන් අජපාල මූලයට ආසන්නව නොපෙනී සිට තුන් දෙන ඔවුනොවුන් හා මන්ත්‍රණ බණන්නාහු: “නගිනි, පුරුෂයන්ගේ සිත් නම් නොයෙක් ආකාරය, සමහර කෙනෙක් බාල ස්ත්‍රීන් කැමැති වෙති. සමහර කෙනෙක් යෙවෙන ස්ත්‍රීන් කැමැති වෙති. සමහර කෙනෙක් මධ්‍යම ස්ත්‍රීන් කැමැති වෙති. සමහර කෙනෙක් වෘද්ධ ස්ත්‍රීන් කැමැති වෙති. සිද්ධාර්ථ කුමාරයාගේ අදහස් නො වරදවා බලා ගනුම්හ”යි මන්ත්‍රණ කොටැ ලා.

දොළොස් හැවිරිදි කුඩා කෙලිරූ සියයෙක, සොළොස් හැවිරිදි පළමුවන යෞවනයෙහි ස්ත්‍රී රූ සියයෙක, එක දරුවන් ලද ස්ත්‍රී රූ සියයෙක. දෙදරුවන් ලද උත්තම ස්ත්‍රී රූ සියයෙක, එක දෙ නර දුටු ස්ත්‍රී රූ සියයෙක, විලිකුන් කෙස් ඇති මැහැලි රූ සියයෙකැ යි මෙසේ සසියයක් වෙස් මවාගෙන සිද්ධාර්ථය, අප පියාණන් මුහුණ ගෑ දැලි අද පිස හරිමෝ මය. ඔහුගේ සිල් බිඳු මෝ ම ය”යි කිය කියා, නන්විසිතුරු මලින් සරහන ලද නිල් වරලසින් හා, කන් නමැති මධු ගුහාවට ගමන්ගත නීල භෘඞ්ග යුග්මයක් සේ ඉඳුමිණි නිල්වන් දිගු පුළුල් වූ ඇසින් හා, ගන නිල් වරල් නමැති මහ මේ කුළින් පැන නැගී දෙව්දුනුවන් දිලියෙන බැම සඟලින් හා, දුටුදුටුවන් දෙපා මසන රන් හැකිලි සේ සක්පතින් දිලියෙන කණින් හා කෙම්වැලවන් තඹුරු තොලින් හා කොඳකැකැළුවන් දත්පෙළින් දිවන සුදුරැසින් සඳරැස් පරදවමින් මුව පියුම් බල බලා කර ඔසවා සිටිනා වූ රන්වන් හංස පැටවුන් සේ ලීලෝපේතව සිටිනා පිරුණු තන සඟළින් හා, නැඹ පියුමට මුවරද ලෝලීන් බස්නා භෘඞ්ගාවලින් සේ දුටුදුටුවන් සිත් උමතු කරවන නිල් වසාරොදින් හා, රන්තැඹිලි කඳවන් අසුරෙන් ගන්නා සිඟු විලගින් හා, කාම පුරුෂයන් මනදොළ විශාරද කරවන්නා වූ රන්වන්වූ පුළුලුකුලෙන් හා පුරුෂයන්ගේ ධෛර්‍ය්‍ය මඩනා තිරිගි කද සේ රත්කෙහෙල් කදට නිගාදුන් මට සිලුටු වූ කලවා සඟලෙන් හා, නිවන්පුරට වදනවුන් බදා හෙළන මල සේ කර පුරා හෙලන ලද මුතුහර පැළඳ “කාම පුරුෂයෙනි! පිනැති එකෙක් වල නොගොස් අප කරා එව යි හඬගා කැඳවන්නා සේ රන්ලියවන් අතෙහි පිරූ මිණි වළලු රැවුදෙමින් සියලු සතුන් ඇසට ලූ ඉන්‍ද්‍රජාලා බඳුවූ නන් පැහැයෙන් විසිතුරු උතුරුසළු ලා, රතියට ආකර සේ, ලීලාවට සිය ගේ සේ, යොබ්බනයට මඟුල් ගෙවල් සේ, මඳ මද සිනායෙන් පිරුණු මුඛ නමැති සඳ පෙලින් දිවන දසනහරසින් සල්ලාල නමැති කෞමදයන් සතුටු කරවමින්, මෙසේ වූ දුටුවන් ඇසුවන් සිතුවන් සිත් සොලවා පියන සසිසයක් වෙස් මවා ගෙන ඔවුනොවුන්ගේ රූසිරි බල බලා ‘නගිනි, අද අපට එක පුරුෂයෙක් නම් සරු කිම්දැ’යි වහසි කිය කියා ඒ මාගේ ස්වාමිදරුවන්ගේ අභිමුඛයට අහසින් වගුළ සපුමල්දම් පෙළක් සේ රන්ලිය සමූහයක් සේ, විදුලිය සමූහයක් සේ, දෙවුදුනු සමූහයක් සේ, බුද්ධපූජාවට දමාලූ සසියයක් රන් කැටපත් සේ, දෙදෙනෙක් එකසැටියක නො සැරහී, දෙදෙනෙක් එක්වන් සළු නො හැඳ, මෙසේ වෙන වෙන නොයෙක් ස්ත්‍රී ලීලාවෙන් බුදුන් පෙරටවැ සිටගෙන මෙසේ කියති.

“යහළු සිද්ධාර්ථ නම් කුමාරයෙනි! තෙපි වසන්තයා බඳු කාන්ති ඇති කෙනෙකු ව, පන්තිස් හැවිරිදි හෙයින් නව යෞවනයෙහි පිහිටිය ව, රන්වන්වූ ශරීර ඇති කෙනෙකු ව, සියලු ස්ත්‍රීන්ගේ ප්‍රේම තොප කරා හයා ගන්නා කෙනෙකු ව, රසයෙන් සම්පූර්ණ කෙනෙකුව, ස්නේහයෙන් ආර්ද්‍රකෙනෙකු ව, එසේ වූ තෙපි රන්පවුලකින් රන්වන් වූ තෙල කය වසාගෙන කාම ස්ත්‍රීන්ගේ ශෝක නමැති ලැවු වනයෙහි ගිනිලන්නා සේ එකලාව, මේ නුගගස මුල කරබාගෙන හිඳුව, ස්වාමීනි! නො වලා කියව, තොප අඹුවෝ ඇද්ද නැද්ද? නොහොත් තොප හා ඩබරකොට ගියෝද? නොහොත් උත්තම ස්ත්‍රියක කල් දමා නො එන හෙයින් ඈ බල බලා හිඳූ ද? අහෝ සිද්ධාර්ථ කුමාරයෙනි! මේ අපට නොහඟවා කියවයි විචාළහ. එකල මාගේ ස්වාමිදරුවානෝ වෙස්සන්තර ජාතකයෙහි කෘෂ්ණජිනා නම් දියණියන් කියන ලද බොළඳ සුරතල් තෙපුල් කොට සිතා මුවෙන් නො බැන හුදු කරුණාවෙන් අඹාලූ රුවක් සේ, හුදු මුදිතාවෙන් මවාලූ රුවක්සේ, හුදු උපේක්‍ෂාවෙන් මවාලූ රුවක් සේ නො සෙල්වී මහපොළොව සේ වැඩවුන්සේක් මයැ.

ඉක්බිත්තෙන් මැහැලි වෙස්ගත් තණ්හා නම් දේවතාදූ “මේ පුරුෂයා එසේ මෙසේ සොලවාලිය නො හැක්ක. අප හැම දෙනා තමාගේ නුවන් කෙළවරිනුත් නො බලයි. පුරුෂයෝ නම් තමන් රූ වර්ණනා කළ කල මදනැගී ඇතුන් සේ උමතු වෙති. මොහුගේ රූපය ඉදිරියෙහි සිට වණා මා කරා නමා ගනිම්”යි සිතා ‘ස්වාමීනි, සිද්ධාර්ථ කුමාරයෙනි! තොපගේ සිද්ධාර්ථ නම් නම සියලු ස්ත්‍රීන්ගේ කාමාර්ථයන් සිද්ධකරන හෙයින්ම ලදහ යි සිතමි. තොපගේ මේ රන්වන් වූ ශරීරය ලෝකවාසීහු කරුණා මෛත්‍රීන් සම්පූර්ණ වී ය යි කියති. මම වනාහි පඤ්චකාමයෙන් පිරුණාහ යි සිතමි. තොපගේ තෙලෙ රන්කඳක් වන් පස්කඳ රන්මුුහුදින් පැනනැගී ස්වර්ණාංකුරයක් වැන්නැ යි නො කියමි. කාම ස්ත්‍රීන් තොපගේ තුනුවිලට බැස කෙළනා පස් මහ තොටෙකැ”යි කියමි. තව ද තොපගේ රන්මෙරක් බඳුවූ බුද්ධකායෙහි දිලියෙන ඉඳුමිණි නිල්වන් සිරස රන්මුහුදින් පැන නැගී ඉඳුමිණි නිල් පර්වතයක්හුගේ ශ්‍රී විභූතියක් වැන්නැ යි නො කියමි. කාමස්ත්‍රීන් නමැති බකාඞ්ගනාවන්ට ගබ්දෙන්නා වූ මහ මේ කුළක් දෝ හෝ යි කියා සිතමි.

තව ද තොපගේ තෙලෙ රන්තලාවක් වන් නළල් තල මැද දිලියෙන ඌර්ණරෝම ය රන් බිතෙක්හි දුන් මකුල් තිලකයක් වැන්නැයි කියා ත් නො කියමි. ස්වර්ණ සාගරයෙන් පැන නැගි දක්‍ෂිණ ශංඛයක් වැන්නැ යි කියාත් නො කියමි නො හොත් එම රන් මුහුදින් පැන නැගි දරණ ලා හොත් හැළි නාග රාජයකු වැන්නැයි කියා ත් නො කියමි. නොහොත් තොපගේ රූ මුහුදින් පැන නැගි අමා දධියක් වැන්නැ යි කියාත් නො කියමි. නොහොත් තොපගේ යශෝලතාවෙන් ප්‍රබෝධ වූ යසමල් කැනක් වැන්නැ යි කියාත් නො කියමි. නොහොත් නාසිකා නමැති පුඩු ඇති, බැම නමැති ඉඳුමිණි නිල්වන් සතෙහි මුදුන් දුන් රිදී කොතක් වැන්නැ යි කියා ත් නොකියමි. නොහොත් තොපගේ මුඛ නමැති මහපියුමට බැස මුව පුරා රොන් ගෙන නළල් නමැති රන්පෙත්තෙහි හිඳ රැවු නඟා මත් ව ගුවන් බලා හුන් ශ්වේත හංස පෝතකයෙකු වැන්නැ යි කියාත් නො කියමි. ඒකාන්තයෙන් කාම ස්ත්‍රීන් නමැති කෞමදයන් ප්‍රබෝධ කරන්නා වූ පුන් සඳක් වැන්නැ යි කියාත් නො සිතමි. නොහොත් තොප කරා පැමිණි යෞවන ස්ත්‍රීන්ගේ කාම ඩාහ නිර්වාණය පිණිස මවාලූ රිදී තල් වැටෙක් දෝ හෝ යි කියාම සිතමි. තව ද තොපගේ තෙලෙ වෙන වෙන පස්වනක් පැහැයෙන් දිලියෙන්නා වූ ඇස් සඟළ මුඛ පද්මයට බට නීල භෘඞ්ගරාජ යුගලයක් වැන්නැයි කියා ද, නීලොත්පල යුගලයක් වැන්නැ යි කියා ද, ඉන්‍ද්‍රනීල යුගලයක් වැන්නැ යි කියා ද නො කියමි. පඤ්චකාමයන්ගේ ජයගැන්මට වෙන වෙන ම මවා ලූ පඤ්චවර්ණයෙක් දෝ හෝ යි කියා ම සිතමි.

තව ද තොපගේ තෙලෙ උත්තුඞ්ග වූ නාසිකාව මුව පියුම බලා කර නගා උන් රන්වන් වූ හංස රාජයකු වැන්නැ යි කියාත් නො කියමි. තොප කරා පැමිණි ප්‍රේම කාන්තා නැමැති කෙණෙරඟනන් අනුන් කරා නො යාදී ගයා ගන්නා වූ ස්වර්ණාංකුශයෙක් දෝ හෝ යි කියා ම සිතමි. තව ද තොපගේ තෙලෙ බිඹුපල සමාන වර්ණ වූ අධරයුග්මය මුඛ නමැති පද්මයෙහි හටගත්තා වූ රත් පියුම්පෙති සඟළක් වැන්නැ යි කියා ත් නො කියමි. තොපගේ රූප නමැති ක්‍රීඩා ශාලාවෙහි කාම ස්ත්‍රීන්ට මවා තුබූ ප්‍රවාලමය වූ රා මඩම් සඟළක් වැන්නැ යි කියා ම සිතමි. තව ද තොපගේ තෙලෙ අධරයුග්අමාභ්‍යන්තරයෙන් අර්ධ රූප දක්වන්නා වූ දන්ත පංක්තීහු මුඛ පද්මයෙහි කේශර පංක්තියක් වැන්නැ යි කියා ත් නො කියමි. දුටු දුටු කාමස්ත්‍රීන්ගේ කාමාර්ථයන් සිද්ධ කෙරෙමි යි සන්‍ධ්‍යාවල ගබින් පෙනෙන්නා වූ ද්විතීය චන්‍ද්‍රයා දෝ හෝ යි කියා ම සිතමි. තව ද යහළු සිද්ධාර්ථ නම් රූසයුරාණෙනි, තොපගේ තෙලෙ රන්කුළු සඟළක් වන් උරසඟළේ පැහැර සිටිනා කන්පට සඟළ රත්ගල් මුදුනෙක නටන ස්වර්ණමයුර රාජජ යුග්මයක් වැන්නැ යි කියාත් නො කියමි. තොප කරා පැමිණි යෞවන ස්ත්‍රීන් අනුන් කරා නො යාදී දෙපා මසන රන්පමුදම් දෙකෙකැ යි සිතමි. තොපගේ තෙලෙ රන්වන් වූ ග්‍රීවය රන් මිහිඟක් වැන්නැ යි නො කියමි. කාමාඞ්ගනාවන් උමතු කරවන ඖෂධ ඝටිකායෙක් ම ය යි සිතමි. තොපගේ තෙලෙ රත් සිවුරුගබින් නිකුත් බාහු යුග්මය රත්වලා ගබින් නිකුත් විදුලිය දෙකක් වැන්නැ යි නො කියමි. තොපගේ රූ නමැති අමාගඞ්ගාවට වැද කාම ස්ත්‍රීන් සිත් සේ කෙළනා වූ රන් පලු පත්සඟළක් වැන්නැ යි සිතමි.

මෙසේ වූ රූපයකින් මේසා වන මැදෙක කාමස්ත්‍රීන් නැති ව තොප වැනි කෙනකුන් උදකලාව වසනු ඉතා නො යෙදෙයි. මේ ලෝකයෙහි ස්ත්‍රී නම් තොප වැනියන් පහස් ලත් ස්ත්‍රීම ය. එබැවින් වරෝ හිමි, එ කලාව මේ වෙනෙහි නො වසව, අද දක්වා පුරුෂයන්ගේ පහස් නො ලත් මාගේ මේ දොළොස් හැවිරිදි කුඩා නඟුන් සියය හෝ රක්‍ෂා කරව. නොහොත් නව යෞවනයෙහි පිහිටි සොළොස් හැවිරිදි නඟුන් සියය හෝ රක්‍ෂා කරව. නොහොත් එක් දරු වැදූ මේ රන්ලිය වන් නඟුන් සියය හෝ රක්‍ෂා කරව. දෙදරු වැදූ මේ විදුලිය වන් නඟුන් සියය හෝ රක්‍ෂා කරව. පුරුෂයන් පොළඹා ගැන්මෙහි අප මුත් නැතැයි ධ්වජ නැගුවා සේ එක දෙ නර නැගි නඟුන් සියය හෝ රක්‍ෂා කරව. නොහොත් කපු පිසමන් දී ගඳලගයෙන් පුරුෂයන් පොළඹා ගැන්මෙි දක්‍ෂ වූ අප මැහැල්ලන් සියය හෝ රක්‍ෂා කරව. ගිමි! තොප සිත ඇත්තක් නො වළා කියව. අප මුත් මෙතන අනික් කිසි කෙනකුන් නැති බැවින් කිසි විළියක් නො කරව” යනාදීන් මෙසේ ලද බොළඳ වූ නොයෙක් විරහ තෙපුල් කීව. එ විගස හැම මාරස්ත්‍රී ඔවුනොවුන් පරදවා අපි ම ලෝභ කරවා ගනුම්හ. අපි ම ලෝභ කරවා ගනුම්හ යි සිත සිතා සමහරු නටති. සමහරු ගී කියති. සමහරු අත්තල හෙළති. සමහරු අසුරු සන් දෙති. සමහරු වස්කුළල් පිඹිති. සමහරු දිව වෙණ ගයති. සමහරු නරු තනති, සමහරු බමති, සමහරු පුසුඹු ලති, සමහරු අත්වැල් බැඳ බුදුන් සිසාරා දිවෙති, සමහරු ලීලා දක්වති, යනාදීන් නොයෙක් ප්‍රකාරයෙන් අකට විකට පෑ පොළඹවන්නාහු මාගේ ස්වාමිදරුවා නන්සේ නුවන් කෙළවරින් බැලුම් පමණකුත් නො ලද්දාහු ය.

මෙසේ බොහෝ උත්සාහ කොට අවකාශයක් නො ලදින් වෙහෙසෙන්නාහු “ස්වාමීනි, සිද්ධාර්ථ කුමාරයෙනි, මේ ලෝකයෙහි තොප මහා ශ්‍රද්ධාවන්ත ය යි කියති. කාමඩාහයෙන් තොප කරා ආ අප තොපගේ තුනුවිල ගලා සන්සිඳුවා නූලු නම් අද අප දිවි තිබෙති යි නො සිතව. එසේ ත් ලෝභී වූ නම් තොපගේ තෙලෙ ශ්‍රීපාද නමැති පියුම් දෙකින් අප අපගේ නළල් මැද තිලකාභරණ දෙව. තව ද එසේත් ලෝභී වූ නම් ස්වාමි සශ්‍රීක වූ සුවඳ ගඳින් පිරුණා වූ තොපගේ මුඛ නමැති කරඬුව හැර මධුර වචනයක් දන් දී අප අපගේ කන් පුරව. එසේත් ලෝභී වූ නම් තොපගේ තෙලෙ පස් වණක් පැහැයෙන් දිලියෙන බැලුම් පමණකින් ලෝවැඩ කරන්නා වූ ඇස් සඟළින් අඩ බැලුම් දී ඒ ආස්වාදයෙන් තොප නිසා ම සැලෙන අප කම්කිළියන් කම්ගිනි නිවව. අද තොපගේ ශ්‍රද්ධාබල බලම්හයි”යි නොයෙක් ලෙස යාච්ඤා කළ ද මාගේ ස්වාමි දරුවාණන් ඒ දිව්‍ය ස්ත්‍රීන්ගේ භාවභව ලීල ජරාපත් වැඳිරියන් පානා වූ විකාර සේ, වෙස් බැඳ පානා විකාර සේ, සිතා අශුභ ලකුණු උපදවා මෛත්‍රීන් පින පිනා මහමෙර සේ නිශ්චල ව වැඩහුන්සේක් ම ය.

එ කල මාරස්ත්‍රීහු තමන් දිව්‍යාඞ්ගනාවන් හෙයින් මොහුගේ පූර්ව චරිතයෙන් මෝහට නින්දාකොට පොළඹා ගනුම්හ යි සිතා කියන්නාහු: “සිද්ධාර්ථ කුමාරයෙනි! දැන් අපට තොප තදවන්නේ ඇයි ද, තොප පෙර කුසරජ ව උපන්කළ ප්‍රභාවතින් තොප හැර පලාගිය කල එදා තොප ඒ සා රාජ්‍යයක් හැරපියා උන් පසු පස්සෙහි එක දා සියයක් යොදුන් දිවූ දවස් සඳහන් නැද්ද? තව ද සත්මසක් මුළුල්ලෙහි දර පැන් ඇද බත් මාලු පිස එම ස්ත්‍රිය නිසා අරක්කැමි කම් කොට තොප ගත් දුක් සඳහන් නැද්ද? තව ද වළන් කද කර තබාගෙන හිණි පාමුල හී මළගෙ වෙස්ගෙන ඇස පෙරළලා එදා තොප වැදහොත් ලෙස් මෙදා සඳහන් නැද්ද? තව ද තොප හුනු හඬ අසා ප්‍රභාවතීත් දිව අවුදින් කර දිගුකොට මේ මළදෝ හෝ නොමළ දෝ හෝ යි සිතා නාසයට අත පෑ බලන වේලෙහි ඒ ස්ත්‍රිය දැක ප්‍රේම ධරාගත නොහී කටපුරා කෙළ ගෙන ඇගේ මුව පියුමට දැමූ ලෙස් සඳහන් නැද්ද? තව ද එම ස්ත්‍රිය නිසා වීර්යය කරන තොප එදා කැසපට ගොතාගෙන, කළල්මැද සිට බඳුන් සේදූ ලෙස් සඳහන් නැද්ද? පෙර සසර මෙසේ ගෑණුන් කෙරෙහි ලොභ තැනැත්තන් දැන් අප වැනි ස්ත්‍රීන් කෙරෙහි මඳකුත් ලෝභ නොකරනු තොප වරද නො වෙයි. අප කළා වූ අකුසල් බල මය.

තව ද පෙර තොප රජ වූ ජාතියෙක පඤ්චකාමය මා මුත් අනිත් සතකු අනුභව කළ නො හැක්කැ යි කියා කාමයෙහි ගිජුව කිලෙහි සිටි බල්ලන් දක්වා කඩුවෙන් පොලුගෙන කාමොන්මත්තව එදා ඇවිදි ලෙස් මෙදා තොප සඳහන් නැද්ද? තව ද එක් කලෙක චුල්ලපදුම ජාතකයෙහි ප්‍රිය වූ කාන්තාවක නිසා රජය හැර ගොස් ඈ පය බිම ගෑ නොදෙමි යි කර හිඳුවාගෙන දුරුමග ගෙවා යනදා ඈ පැන් බොමි යි කී වේලෙහි පැන් නැත්තෙන් තොපගේ තෙලෙ පුළුල් උරමඬල පළා ලෝදිය හොවා ඈ පිපාසා නිවා ඇවිදි ලෙස් මෙදා තොප සඳහන් නැද්ද? තවද තොප සුභලක්‍ෂණ ජාතකයෙහි සුභලක්‍ෂණා නමා බිසවුන් කර හිඳුවාගෙන රාජවීථි මධ්‍යයෙහි වනමධ්‍යයෙක යන්නා සේ කාමයෙන් අන්‍ධ ව එදා තොප ගියසැටි මෙදා දැන් සඳහන් නැද්ද? තවද සංකප්ප ජාතකයෙහි තොප බරණැස් රජුගේ අග මෙහෙසුන් බිසවුන් දැක ලෝභකොට එකෙණෙහි ම පත් සිඳපු පක්‍ෂියකු සේ ආකාශයෙන් බිම හී එ බඳු වූ ධ්‍යානසුවය හැර උයනට ගොස් සද්දා මුළුල්ලෙහි නො කා නො බී එ සමයෙහි තොප කළ ස්ත්‍රී ශෝකය මෙ සමයෙහි දැන් සිහි මඳ ව ගියේ ද? තව ද පෙර තොප තක්ක ජාතකයෙහි ගංබඩ පන්සලක් කොට ධ්‍යානසුවයෙන් වසන කල දියෙන් යන කාන්තාවක් දැක ඈ දියෙන් ගොඩ නඟා ඈ කෙරේ කළ ලෝභයෙන් ධ්‍යානසුවය හැර ගොස් ඈ හා සමගින් වැස තොප [79]මොර වෙළෙඳාම් කොට එදා ජීවත් වූ සැටි මෙදා දැන් සඳහන් නැද්ද? තව ද පෙර තොප විනීල ජාතකයෙහි ස්වර්ණ හංසරාජ ව ඉපද පක්‍ෂීන් කෙරෙහි හීන වූ කපුටු ධේනුවක හා සමග සංවාසය කොට විනීල නම් පුතකු ලදින් ඒ කපුටුවා හා කපුටු ධේනුව නිසා එකාවනු ව ඇවිද එදා ජීවත් ව තොප ගත් දුක් මෙදා දැන් සඳහන් නැද්ද?

තව ද පෙර තොප [80]උම්මදන්ති ජාතකයෙහි රජව නුවර පැදකුණු කොට යන දා උම්මදන්තී නම් ස්ත්‍රියක දැක ඈ කෙරෙහි කළ ලෝභයෙන් කාමොන්මාද ව ආ පස්සෙහි රජගෙට ගොස් නොයෙක් විලාපයෙන් ඈ මත්තේ නොයෙක් ගී කියා එදා තොප ඇඬූලෙස් මෙදා දැන් සඳහන් නැද්ද? තව ද පෙර තොප වන මැදෙක ධ්‍යාන ලදින් වසන කල එක් දවසෙක රෑ ස්ත්‍රියක වැදහොත් ගේකට ගොස් දොර හරවා ඈ දොර නොරණ හෙයින් මුඬක් දී පලය ඔසවා බළල්ලායෙන් ගෙට වදනා වේලෙහි පය ගැසී මුඬය ගැලවී පලභාරය තොප පිට හී ඔබාගත් කල එදා තොප ගත් දුක් මෙදා සඳහන් නැද්ද? පෙර මෙසේ එකි එකී ස්ත්‍රියක් නිසා දුක් ගත්තා වූ තොප දැන් අප සසියයක් ප්‍රිය කාන්තාවන් දැක තද වන්නේ නො යෙදෙයි. හිමි‘ අපට දැන් කාමාස්වාද කරව”යි නොයෙක් ලෙස යාච්ඤා කළාහුය.

එ වේලෙහි ස්වාමිදරුවෝ නිශ්චලව කරුණා පිඩක් සේ වැඩ හිඳ සිතා වදාරණසේක්; “මා රාගාදි කෙලෙසුන් නසා ලොවුතුරා බුදුව තුන්ලෝ මුදුන් වූ පරිදි මේ ස්ත්‍රීහු නො දන්නාහු ය. මොවුන්ට මා අරාගී අද්වේෂි අමෝහී පරිදි හඟවාලමි”යි සිතාලා තමන් වහන්සේ මුඛ නමැති පද්මයෙන් සුවඳ ගඳ විහිදුවා අෂ්ටාඞ්ගසමුපෙත වූ මධුරනාදයෙන් වදාරනසේක් ‘නගිනි, කුමක් කියා වෙහෙසෙව්ද? තොපගේ තෙලෙ ස්ත්‍රී ලීලාව අවීතරාගී වූ, පුරුෂයන්ට ම සුදුසු බව මුත් මාසේ වීතරාගී වූ, වීතද්වේෂී වූ, වීතමෝහී වූ, නික්ලේශී වූ, ශාන්ත වූ, දාන්ත වූ, අමාමහනිවන් දුටුවානට සුදුසු සේ නොවෙයි” වදාරා:-

යස්ස ජිතං නාවජීයති - ජිතමස්ස නො යාති කොචි ලොකෙ,

තං බුද්ධමනන්තගොචරං - අපදං කෙන පදෙන නෙස්සථ.

.

යස්ස ජාලිනී විසත්තිකා - තණ්හා නත්‍ථි කුහිඤ්චි නෙතවෙ,

තං බුද්ධමනන්තගොචරං - අපං කෙන පදෙන නෙස්සථ.

යන මේ ගාථාද්වයෙන් තමන්වහන්සේ වීතරාගී බැව් හඟවා බණ වදාළ සේක. මාර ස්ත්‍රී ඒ බණ අසා අප තබා සදෙව්ලොව දෙවඟනෝ අවුදිනුත් මොහු කාමපාශයෙන් බදාගත නොහෙත් ම ය යි හැම කලකිරී බුදුන් වටාසිට තමන් සසියයක් දෙනාගේ එක් දහස් දෙසියයක් පමණ අත් බුදුන් දසාවට පොව පොවා ‘කොල සිද්ධාර්ථය! ඒකාන්තයෙන් තෝ මනුෂ්‍යයෙක් නො වේ ම ය. ලෙයි ගුණ රස නැති යක්‍ෂයෙක්හි ද? නොහොත් උන්මත්ත පුරුෂයෙක්හිද? නොහොත් තාගේ රුව මතුපිට රන්පොත්තකින් වසා ඇතුළත ගලකින් නිමියේ ද? නොහොත් තාගේ තෙල ශරීරය යකඳින් නිමවා රන්වන් කෙළේ ද? ඒකාන්තයෙන් තාගේ තෙල පස්කඳ මුත් සිතෙක් එහි දුරින් දුරු ම ය. ඉදින් අපි අවීතරාගී වූ යම් පිරිමියකු ඇසිල්ලකුත් දුටුමෝ නම් ඔහු අප වසඟ කොට ගනුමෝ ම ය. තා සේ වූ රූක්‍ෂ සිත් ගුණ නැති, අශ්‍රද්ධා පුරුෂයකු කරා අප ආ සේ ම නො යෙදෙයි. තා සේ වූ ගුණ නැතියන් කෙරේ ඉදින් තා කැමැත්තෝතිනුත් හිඳිනෝ කවුරුදැ”යි නින්‍දා බැණ, “අපගේ පියාණන් වහන්සේ ඔහු කාවිසිනුත් ජයගත නොහැක්කැ’යි කියව කියවා අප ආයේ නො යෙදෙයි. අපට වූ පරිභව ඉතා මහත. යම්හ නඟිනි” කියා එතෙකින් අන්තර්ධාන ව පැරද පලා ගියහ.

මුචලින්‍ද රාජායතන මූලයන්හි වැඩ සිටීම

මෙසේ මාගේ ස්වාමිදරුවෝ මාරස්ත්‍රීන් ජයගෙන ඒ අජපාල නිග්‍රෝධ මූලයෙහි පස්වන සතිය වැඩහිඳ සවන සතියෙහි මුචලින්‍ද නම් විලට වැඩ ඒ විල්තෙර මහමිදෙල්ල ගසක්මුල වැඩහුන් සේක. එදා පටන් බුදුන් හා සක්විති රජුන් ලොව උපන් කල සත් දවසක් වස්නා චාතුර්ද්වීපික මහාමේඝ නම් මහාමේඝයක් නඟා සත් දවසක් ධාරානිපාත විය. ඒ විල වසන මුචලින්‍ද නම් දිව්‍ය නාගරාජයෙක් විලින් නැඟී දසදෙස වසාසිටි මහත් වූ වැසිඅඳුරු දැක බුදුන්ගේ ශරීරයට වැසි සුළං සීත මැසි මදුරුවන් වළකා මේ සද්දා කාය වෙය්‍යාවතෙකින් පින් රැස්කෙරෙමි යි සිතාලා අවුදින් බදුන් වටාලා සත් දරණ පටක් එව මහත් වූ පණගබින් මුදුන වසා බුදුන් පුදා සිටගත. එ කල මාගේ බුදුහු දෑවාන කරඬුවෙකින් වසා ලූ ප්‍රතිබිම්බයක් සේ මුචලින්‍ද නම් නාගරාජයාගේ දරණගබ සවන සතියෙහි ධ්‍යාන සුවයෙන් වැඩහිඳ, එ තැනින් පැනනැගී සත්වන සතියෙහි මහකිරිපලු වනයකට වැඩ කිරිපලු ගසක්මුල ගලස්නක් පිට නිල් වලා ගබක් පිට දිලියෙන පුන්සඳක් සේ දිලිහි දිලිහී ධ්‍යානසුවයෙන් වැඩහුන් සේක.

සක්දෙවිඳු අමා අරළු පිළිගැන්වීම

මෙසේ මේ සත්වන සතියෙහි බුදුවූ එකුන් පනස් දා මුළුල්ලෙහි ආහාර කෘත්‍යයක් නැති ව නිවන්සුව වළඳා දවස් යවු කල බුදු වූ පනස්වන දා උදාසන අරුණු නැගි වේලෙහි ශක්‍රදේවේන්‍ද්‍රයා අමා අරළු සුණුකඩක් ශ්‍රී හස්තයට පිළිගන්වා ලී ය. ඒ දිව්‍ය වූ අරළු වැළඳූකල සිරුරු පිළිදැගුම් විය. එකෙණෙහි මාගේ ස්වාමිදරුවෝ පන්සියයක් යොදුන් උස හිමාලයෙහි සමපනස් යොදුන් අනවතප්ත විලට වැඩ අනන්තාපරියන්ත වූ බුදුන්ට ම නියත ව තුබූ සුගත් නම් තොටට බැස මුඛ ධෝවනය කොට එහි ශක්‍රයා පිළිගැන්වූ මෘදු වූ සිනිඳු වූ නාලිය දැහැටි වළඳා නැවත වැඩ එම කිරිපලුගස මුල වැඩහුන් සේක.

වෙළඳ දෙබෑයන් මී පිඬු පිළිගැන්වීම

එ කල බුදුකෙනකුන්ට අග්‍රභෝජනයක් දන්දෙමියි කප් ලක්‍ෂයක් පතා ආ තපස්සු - භල්ලුක නම් වෙළෙඳ දෙබෑ කෙනෙක් උතුරු දනව්වෙහි සිට පන්සියයක් ගැලින් බඩු පුරාගෙන මධ්‍ය මණ්ඩලයට යන්නාහු ඒ කිරිපලු වනයට පැමිණියාහ. පෙර ඔවුන්ට නෑ දේවතා දුවක් ඒ වෙනෙහි වසන්නී වෙළෙඳ දෙබෑයන් යන්නවුන් දැක උන් ලවා අද බුදුන්ට දන් දෙවා උන්ට වැඩක් කෙරෙමි යි සිතා අන් ගෙනයන පන්සියයක් ගැල් නාභිය දක්වා පොළෝ ගළා පුව, අදනා ගොන් දණ බිම ඇන රඳා ගියහ. එවේලෙහි වෙළෙඳ දෙබෑයෝ භයපත් ව මේ වෙනෙහි දෙවිකෙනකුන් කළ දෙයෙකැ යි දැන ගඳ දුම් මල් පහන් පුදා දෙවියන්ට ආරාධනා කළහ. එ කල දේවතා දූ දෙව්පිරිස් පිරිවරා ආකාශයෙහි සිට ඔවුන්ට පෙනී භය හරවා ‘මාගේ බුදුහු බුදුවූ දා පටන් එකුන් පනස් දවසක් මුළුල්ලෙහි තව දක්වා නිරාහාරයෙන් ම සත් සතියක් යවා දැන් මාගේ මේ වෙනෙහි පින්කෙත් ව වැඩහුන් සේක. තොපටත් මටත් පින් පුරා පරලෝ වැඩ නිසා බුදුන්ට අග්‍රභෝජනය දෙවාලනු කැමැත්තෙමි.

මෙසේ බුදුන්ගේ ගුණ කියා බුදුන්ට දනක් දෙන සේ ඔවුන් සමාදන් කරවාගෙන ඒ පන්සියයක් ගැල් ම හැරපූහ. එකෙනෙහි ඔහු දෙදෙන පැහැද මීපිඩු ගෙනගොස් බුදුන් පෙරටුව සිට ආරාධනා කළහ. මහා බ්‍රහ්මයා පිළිගැන්වූ පාත්‍රය කිරිපිඬු පිළිගත්විට ම අන්තර්ධාන ව ගියේය. කිරිපිඬු පිළිගැන්වූ තලිය නාගභවනයට ගියේ ය. එසේ හෙයින් ‘බුදුහු නම් පාණි පාත්‍රයෙන් නොපිළි ගනිති. කවර පාත්‍රයකින් පිළිගනිමි දෝ හෝ”යි සිතා වදාළසේක. එකෙනෙහි මාගේ ස්වාමිදරුවාණන් සසර ජාති ජාතියෙහි දන් දුන් චතුමධුර පූර්‍ණපාත්‍රයන්ගේ ආනුභාවයෙන් වරම් රජදරුවෝ සතරදෙන ඉන්‍ද්‍රනීල මාණික්‍යමය වූ පාත්‍ර සතරක් ගෙනාහ. බුදුහු පූර්‍ව බුද්ධවරයන්ගේ චාරිත්‍ර බලා ඒ පාත්‍ර නො ඉවසා වදාළසේක. නැවත මුංවන් පැහැ ඇති ශෛල පාත්‍ර සතරක් ගෙනවුත් ‘මාගේ පාත්‍රය ම ගත මැනව. මාගේ පාත්‍රය ම ගත මැනවැ’යි කියා බුදුන්ගේ ශ්‍රී හස්ත නැමැති පියුමට බස්නා නීලභෘඞ්ගරාජයන් සතර දෙනකු සේ මතු මත්තේ තබාපීහ. බුදුහු වරමුන් සතරදෙනාට ම අනුග්‍රහ සඳහා සතර ම එකපාත්‍රයක් වේවයි අධිෂ්ඨානකොට වදාළසේක. එකෙණෙහි සතර පාත්‍රය ම එක්ව ඇලි සතර මෝවිට තෝරා රේඛා පෙණි එක පාත්‍රයෙක් විය. එකල බුදුහු ඒ පාත්‍රයෙන් මීපිඬු පිළිගෙන පළමුවන භෝජනය වළඳා ඒ වෙළඳ දෙබෑයන්ට අනුමෙවෙනි බණ වදාරා බුත්සරණ-දහම්සරණ පිහිටුවා ඔවුන් බුදුසස්නෙහි ද්වෙවාචික නම් උපාසක කළ සේක.

කේශ ධාතු කරඬුව ගිරිහඬු වෙහෙර තැන්පත් කිරීම

ඒ වෙළෙඳ දෙබෑයෝ ‘ස්වාමීනි! නිති අප වැඳපුදාගන්නා නියායෙන් වස්තුවක් දුනමැනවැ‘යි කීහ. ස්වාමිදරුවෝ ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැද කේශධාතු මිටක් ඔවුන්ට දුන් සේක. ඔහු රුවන් කරඬුවකින් ඒ කේශධාතු පිළිගෙන රථයෙහි තබා සිය නුවර ගෙන ගොස් පූජා කරන්නාහු කලෙක ජලයාත්‍රාෙවහි ඇවිද ශ්‍රි ලඞ්කාද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දාකරඬුව ගලපිට තබා බත් පිස කා යන කල දාකරඬුව තුබූ පලින් සොලවා ගත නොහී මේ උත්තම ස්ථානයෙන් වනැ යි දැන පාෂාණගොඩකින් වසා ගඳ දුම් මල් පුදා ගියහ. පසුව එතෙන ගිරිහඬු නම් වෙහෙරක් විය. ඉක්බිත්තෙන් මාගේ ස්වාමිදරුවානෝ කිරිපලු ගසමුලින් නැගී අටවන සතියෙහි අජපාල නම් නුග ගසමුල වැඩහිඳ අනන්තා පරිමෙය වූ බුදුන්ගේ සිතිවිලි වූ ක්‍රමයෙන් “මාගේ දහම් ගැඹුරු ය, සතුන්ගේ නුවණ ලා ය, ක්ලේශයෝ ඉතා උත්සන්නයෝ ය, මා බුදු වූ බව මුත් දහම් දෙසීමට කල් නො වෙයි” ධර්මගම්භීරත්‍වෙයන් පසුබට සේක.

දහම් දෙසීමෙහි මන්‍දොත්සාහී වීම

එ කෙණෙහි සහම්පතී මහාබ්‍රහ්මයා “නස්සති වත භො ලොකො විනස්සති වත භො ලොකො”යි කියා දසදහසක් සක්වල දිව්‍ය-බ්‍රහ්මනාග-සුපර්ණ-ගරුඬ-ගන්‍ධර්ව-යක්‍ෂ-රාක්‍ෂස-උෂ්ණවලාහක-අහ්‍රවලාහක-සීතවලාහක-වාතවලාහක-වස්සවලාහක-සිද්ධ-විද්‍යාධරාදි දිව්‍ය සේනා වෙවුල්වා මහහඬින් ගුගුරුවා දසදහසක් සක්වළ දෙවියන් රැස්කොට, එක්ලක්‍ෂ පනස් දහසක් බ්‍රහ්මරාජයන් පිරිවරා, දසදහසක් සක්වළ අනූදහසක් දිව්‍යරාජයන් හා සමග මේ මඟුල්සක්වළට රැස්ව බ්‍රහ්මරාජතෙම අටසාළිස් ගවු උසින්, සත්ගවු සමාර දිග පතුල් හා, දොළොස් ගවු දිග රියන් හා, සහවු දිග වියත් හා, අඩගවු තැන් වසා ලන ඇඟිලි ඇතිව, සොළොස් යොදුන් දිව සළු හැඳ, දොළොස් යොදුන් සළු එකාංශ කොට, සොළොස් ගවු මිණිඔටුනු පැලඳ, තමාගේ දසඇඟිල්ලෙන් දිවූ දස රස්කඳින් දසදහසක් සක්වළ හිරු දහස් සඳුදහස් නැංගා සේ ඒකාලෝක කෙරෙමින් ඒ දසදහසක් සක්වළ හැම දෙවියන් බඹුන් ගෙන මාගේ ස්වාමිදරු වූ, ධර්ම රාජ වූ, ධර්ම චක්‍රවර්ති වූ, බුදුරජාණන් කරා ඒ අජපාල මූලයට දිව තමාගේ දොළොස් ගවු උස දකුණු දණමඬල නමා උක්කුටිකයෙන් හිඳ තමාගේ සඟවු පමණ විශාරද වූ, දොහොත් මුදුනෙහි තබාගෙන: “ස්වාමීනි! බුදු කෙනකුන් ඉපදීම කප් අසඞ්ඛ්‍යයකිනුත් ඉතා දුර්ලභ වන්නේ ය. නුඹ වහන්සේ මේ සාරාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි පාරමිතාවන් පුරා දුක් ගත්තේ දම්සක් පවත්වා සියලු සතුන් සංසාරසාගරයෙන් ගොඩනගමි යි සිතා වේ ද. එසේ වූ නුඹවහන්සේ දැන් සද්ධර්මචක්‍රවර්ති ව ධර්මචක්‍රය නො පවත්වමි යි සිතූ යේ, නොයෙදෙයි. නුඹවහන්සේගේ දේශනා නමැති රශ්මීන් ප්‍රබුද්ධාකාර ව හිඳිනා විනෙයජන පද්මයෝ අසඞ්ඛ්‍යගණන, නුඹවහන්සේගේ ධර්මචක්‍රය ඉක්ම පවත්නේවී නම් මම මාගේ ආඥාචක්‍රෙයන් හික්මවා දෙමි”යි “දෙසෙථ මුනින්‍දො ධම්මං, දෙසෙථ භගවා ධම්මං” යනාදීන් කියා ධර්ම දේශනාවට ආරාධනා කෙළේ ය.

මහබඹුගේ ආරාධනය

කීයේ මැනෝ:-

බ්‍රහ්මා ච ලෝකාධිපතී සහම්පතී

කතඤ්ජලී අනධිවරං අයාචථ,

සන්තීධ සත්තා අප්පරජක්ඛජාතිකා

දෙසස්සු ධම්මං අනුකම්පිමං පජං යි.

එ කල මහාබ්‍රහ්මයාගේ ආරාධනාව අසා ධර්මදේශනා කෙරෙමි යි බ්‍රහ්මයාට ප්‍රතිඥා දුන් සේක. එ කෙණෙහි ඒ සහම්පති මහා බ්‍රහ්මයා සන්තෝෂවූයේ මුළු ලොවට ඇසෙන සේ තුන්යළක් සාධුකාර පූජා කෙළේ ය. ඔහුගේ ඒ ශබ්ද ඝෝෂාව හා සමගම දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්ම රාජයෝ ද සන්තෝෂ වූවාහු දොහොත් මුදුන් දී දෙලක්‍ෂ සතළිස් දහසක් සාධුකාර පූජාකොට ගියහ.

මෙසේ තමන්වහන්සේ බුදුව ලා ධර්මදේශනා කෙරෙමි යි ප්‍රතිඥා දුන් පමණෙකින් දස දහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මයන් කළා වූ මේසා මහත් වූ පූජා ලත් හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මුළුලොවට ගුරු වූ, මුළුලොවට මවු වූ, මුළුලොවට පිය වූ, මුළුලොවට පිහිටවූ, මුළුලොවට ආධාර වු, මුළුලොවට කල්‍යාණ මිත්‍ර වූ, මුළුලොවට එකබන්‍ධු වූ, මුළුලොවට තිලක වූ, මුළුලොවට රසාඤ්ජන වූ, මුළුලොවට අමා වූ, මුළුලොවට චින්තා මාණික්‍ය වූ, මුළුලොවට නිධාන වූ, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙන් අර්හත් නම් වන සේක.

එසේ හෙයින් කියන ලදි:-

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලෝකනාථො,

අත්‍ථානුරූපං අරහන්ති ලෝකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං යි.

මේ පූජාවලියෙහි අප බුදුන් සද්ධර්මාරාධනාවෙහි අජපාල නිග්‍රෝධ මූලයෙහි දී

මහාබ්‍රහ්මයාගෙන් ලද සාධුනාද පූජාකථා නම් වූ දොළොස් වන පරිච්ඡේදය නිමි.

13. ඉසිපතනාරාම පූජා කථා

ඉසිපතනයට වැඩමවීම

තව ද අප බුදුන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහි දී ලද ඉසිපතනාරාම පූජා නම් කවරහ? යත්;

මෙසේ මාගේ ස්වාමිදරුවෝ බුදුව අනුක්‍රමයෙන් සත්සති යවා අටවන සතියෙහි අජපාල මූලයෙහි දී බ්‍රහ්මයාගේ ආරාධනාව ඉවසා පළමුවන ධර්මදේශනාව කවුරුන් උදෙසා දෙසම් දෝ හෝ යි සිතා වදාරා ආලාර-උද්දක නම් තාපසවරුන් දෙදෙනා ඉතා නුවණ ඇති සේ දැක, ඔහු දැන් කොයි වෙසෙත් දෝ හෝ යි බලන සේක් ආලාරයන් එවකට සත්වන දා මිය, උද්දකයන් ඊයේ වන දා මිය, දෙදෙනා ම බුදුන් දසදහසක් ඉපදා ත් ගලවාගත නො හැකි අරූතල බ්‍රහ්මලෝකයෙහි උපන් සේ දැක, ඔවුන් කෙරේ උපන් මහා කරුණා ඇති ව, තව ද අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් ආදි වූ පස්වග මහණහු සහවුරුද්දක් මුළුල්ලෙහි මට මෙහෙ කොට බොහෝ දුක් ගත්තාහු, ඔහු දැන් කොයි වෙසෙත් දෝ හෝ යි බලා වදාරා බරණැස් නුවර නිසා ඉසිපතන විහාරයෙහි වෙසෙති යි දැක පළමුවන මාගේ ධර්මදේශනාව ඔවුන් පස්දෙනා ප්‍රධානකොට දේශනා කෙරෙමි යි සිතා වදාරා අටවන සතිය ගිය කල ඒ අජපාල මූලයෙන් නැගී වැඩ බෝමැඩ සමීපයෙහි තුබූ සතර දා විසූ කල බුදු වූ සැට දවසක් පරී මාගේ ස්වාමිදරුවන්ගේ ප්‍රඥා නමැති චන්‍ද්‍රයා සැටකලාවෙන් සම්පූර්ණ වූ චන්‍ද්‍රයා සේ ම සම්පූර්ණ විය. එකල අන්තාපරියන්ත වූ බුදුන් දම්සක් පතුරුවා වස් වසන ඇසළ මස මැදි පොහෝදිනය සම්ප්‍රාප්ත ව ඒ චන්‍ද්‍රයා ද සම්පූර්ණ විය. එදා බෝමැඩ සිට දෙසැත්තෑ ගව්වක් දුරුමඟ ගෙවා ඉසිපතන විහාරයට ඒකචාරී හස්තිපොව්වකු සේ, ඒකාචාරී සිංහ පොව්වකු සේ ඒ මඟ වඩනා සේක.

උපක ආජීවකයන් හමුවීම

එ කල උපක නම් ආජීවකයෙක් සන්හුන් ගමනින් එකලා ව වඩනා මාගේ ස්වාමිදරුවන් දැක, සඳරස් දුටු කුමුදුවිලක් සේ ඉතා ප්‍රසන්න වූයේ බුදුන් මුහුණ බලා, සියලඟින් දිවන සවණක් රස් හා දෙතිස් අසූ ලකුණු හා ශ්‍රී මුඛයෙන් දිවන සඳ කැලුම් වන් බුදුරැස් කඳ හා, සඳමඬුල්ලක් ලූ වා සේ සිසාරා සිටිනා බ්‍යාම ප්‍රභාමඬුලු හා පුන්සඳක් සේ දිලියෙන ශ්‍රී මුඛය දැක, “ස්වාමීනි, තෙපි නිශ්චල වූ ගුණ මිහිකතගෙන් ලදු ද? ස්ථිර වූ ගුණ ඝනරන්මෙරින් ගතු ද? ගැඹුරු වූ ගුණ මහමුහුදින් ගතු ද? තේජෝ ගුණ හිරු මඬලින් ගතු ද? සොමි ගුණ සඳමඬලින් ගතු ද? අමාපිඬක් වැනි කෙනෙකු ව. මහපින් පිඬක් වැනි කෙනෙකු ව, ඝන රන් කඳක් සේ සොඳ කෙනෙකුව, ශක්‍රයා නම් තෙපි ද? බ්‍රහ්මයා නම් තෙපි ද? තොප දුටු වේලෙහි පටන් මාගේ සිත ඉතා අමා පිරූ බඳනක් සේ සන්තෝෂයෙන් ඉතිරි ඉතා ප්‍රසන්න ය. හිමි! තෙපි කවුරුදැ?යි විචාළේ ය.

එ කල ස්වාමිදරුවෝ තමන් කෙරෙහි එදා ඔහු කළ සන්තෝෂයෙන් මතු බොහෝ වැඩ වන සේ දැන තමන් වහන්සේ ද මඳ මඳ සිනා පහළකොට ඔහු මුහුණ බලා, “ආජීවක ය, මම ශක්‍රයා ත් නොවෙමි. බ්‍රහ්මයාත් නො වෙමි. සම්මා සම්බුද්ධයෙමි. සියලු සංස්කාර ධර්මයන් සකසා නිමවා දනිමි. දුරුකළමනා ධර්මයන්යට අජටාකාශයට උඩ අජටාකාශය සේ දුරින් දුරුකෙළෙමි. භාවිත කළමනා ධර්මයන් හැම අළලා අමාපිඬක් සේ හැරගතිමි. සදෙව්ලෝ වැසියන් මට කුලගැති කෙළෙමි. මා පා පිසපු බිසි පවා බ්‍රහ්මයාට මුදුන්මල් කෙළෙමි. දේවාතිදේව වීමි. ශක්‍රාතිශක්‍ර වීමි. බ්‍රහ්මාතිබ්‍රහ්ම වීමි. වන්‍දනීය්‍යාභි වන්‍දනීය්‍ය වීමි. පූජනීය්‍යාභිපූජනීය්‍ය වීමි. සද්ධර්මවරචක්‍රවර්තීති වීමි. දෙවිබඹුන් අතින් මෙහෙ ගෙනපීමි. පස්මරුන් ජයගෙනපීමි. එසේ ජයගෙන සිටි හෙයින්, ආජීවක ය! මට අනන්තජිනයෝ ය යි යෙති”යි වදාළ සේක. එ වේලෙහි ආජීවක තෙම බුදුන් කෙරෙහි අතිප්‍රසන්න ව “යහළු අනන්ත ජිනයෙනි, එසේ වී නම් අද පටන් තෙපි මාගේ යහළුහ. මතු තොප කරා මා ආ දවසෙක තොප මෙසේ පොහොසත් බැවින් මා රක්‍ෂා කරව් දැ? යි විචාළේ ය. ස්වාමිදරුවෝ තමන් වහන්සේ නිසා මතු ඕහට වන වැඩක් දැක මඳ සිනා පහළ කොට, “යහපත, දරුව! පලා එව. එ දවස් තොප රක්‍ෂාකරම්හ”යි වදාරා ඉසිපතනාරාමයට වැඩි සේක.

ඔහු පසු ව බුදුන් කරා ආ පරිදි කෙසේ ද? යත්; එදවස් ඒ ආජීවක තෙම ඒ බරණැසින් ගොස් මහා ප්‍රත්‍යන්තයෙහි වූ වංගහාර නම් දනව්වට පැමිණ එහි එක්තරා එක් වැදිගමක් මැද කිසිල්ලට නඟා හිනමසින් මත්තට පිළි හැඳ ආජීවක වෙසින් කරබාගෙන සිටියේ ය. එකල ඒ ගම නේසාද ජනයෝ ඔහු දැක කොල මොහු කවුරුදැ?යි ඒ ඒ දිගින් දිව අවුත් ඔහු සිසාරා විස්මය පත් ව සිට තෙපි කවුරුදැ?යි විචාළහ. ආජීවක කියනුයේ, ගිහි මිනිසුන් සේ ලජ්ජා වසා පිළි නො හඳුම්හ. අපි තපස් රක්‍ෂා කරම්හ. ලජ්ජාවෙන් අට්ඨයක් පාලනය කරන හෙයින් අට්ඨපාල නම් රහතුම්හ යි කී ය. එ කල මනුෂ්‍යයෝ “මොහු මහා බලවත් කෙනෙක, ලජ්ජා පමණකුත් නැත්තාහ. එසේ හෙයින් සෙසු පාපයෝ වූකලී මොහුගේ සන්තානයෙහි නැත්තාහුම ය”යි කියා පැහැද රහතුන්ට වඳිමියි කියා වඳිති පුදති සත්කාර කෙරෙති. එකල එ ගම වැදි මුදලි තෙම ඔහු කෙරේ පැහැද උපස්ථාන කෙරෙයි. ඒ දනව්වෙහි තල් ඇට සා මක්‍ෂිකා ජාතියෙක් බෙහෙව. ඔහු මිනිසුන් වෙනෙහි දී අසුකළ කල සියලඟ සිරුලා අදිනා සේ ලේ උරා බී පුවක්පත්කඩ සේ මරා හෙළා පියති. එසේ හෙයින් ඒ දනව්වෙහි සත්ත්‍වයෝ ඒ මැස්සන් බොහෝ වූ සමයෙහි මහ සැළවල් ගුහා සේ කරවා එහි වසන්නාහු ය. එසේ හෙයින් ඕ හට ද මේ වෙනෙහි මැස්සන්ගෙන් උපද්‍රවයක් නො වන සේ වල ගෙයක් නංවා ඒ ගෙයි මහත් වූ සැළක් කරවා ඒ සැළැ ඔහු ලා පිධානයකින් වසා දවසින් දවස දන් දෙති.

එ කල ඒ වැද්දහුගේ ජාවි නම් දුවක් ඇත. මෙ තෙමේ දවසෙක ඈ දැක ඈ කෙරේ කාමතෘෂ්ණා බැඳ නො කා නො බී කීප දවසක් නිරාහාරයෙන් හුන්නේ ය. එ කල ඒ වැදිතෙම බැහැරෙක ගොස් ගෙට අවුත් මාගේ රහතන් වහන්සේ කුමක් කොට හුන් සේක් දැ යි විචාරා අඹුවන් හා දුව ‘ඔවුන් අපි තුන් සතර දවසක් නුදුටුම්හ. දොරට සිඟා නො ආවෝ ය’යි කී කල්හි ඒ වැදි පුත් කම්පිත වූ සිත් ඇති ව ඔහු කරා ගොස් වැඳ ‘හිමි නුඹට කෙබඳු වූ ව්‍යාධියෙක් ද, මෙතෙක් දවස් සිඟා නො වැඩිය සේක් වන. වැහැර ගිය සේක් නැ’යි විචාළේ ය. එ වේලෙහි ආජීවක කියනුයේ “මට අනික් ව්‍යාධියෙක් නැත. බොහෝ දවසක් තපස් කොට විඩාව ගියෙමි. එන දවස තපස් කොටගත නො හෙමි. තොපගේ ජාවී නම් දුව මට පාවා දෙව් නම් තොප කෙරේ වෙසෙමි. එසේ නොකළා නම් මා රැකෙති යි නො සිතව”යි කී ය. එ වේලෙහි වැදි පිත් කියනුයේ: තපස්කිරීම නම් පළිරෝධ නැතියේ ය. ගිහි ගෙයි විසීම් නම් බොහෝ සම්පත් උපදවා පළිරෝධයෙන් විසුව මැනව. එක් ශාස්ත්‍රයක් දැනමුත් ගෘහවාසය බැරිම ය. නුඹ දන්නා ශාස්ත්‍ර කිම්දැ”යි විචාළේ ය.

ආජීවක කියනුයේ: “මා දන්නා ශාස්ත්‍ර නැත. තොප පස්සේ දැල්කත් පන්කත් හැදගෙන යෙමි. සතුන් මරාලූ කල මස්කත් ගෙන යෙමි. මෙතෙක් ශාස්ත්‍ර මඳදැ”යි කී ය. එවේලෙහි වැදිපත් ‘මේ මහා මුග්ධයෙක. ම දුව නො ලත් නම් මූ මියයන බවත් සබා ම ය. මූ මියයාමෙන් ප්‍රයෝජන නැත. මට මෙහෙ කෙරේ නම් එක් ප්‍රයෝජනයෙක් ම වේදැ’යි සිතා යහපතැ යි ගිවිස එ වේලෙහි තමාගේ උත්තරසාටක ය ඕහට දී පරිබ්‍රාජක වෙස් හැර වැදිවෙස් ගන්වා තමාගේ ගෙට ගෙන ගොස් ජාවි නම් දුව සරණ දින. එ තැන් පටන් එතෙම එක් වේලෙක මයිලා සිත් ගන්මි යි දැල්කත් පන්කත් මස්කත් අදී. එක් වේලෙක නැන්දා සිත් ගන්මි යි දරමිටි පලාමිටි ආදිය ඇද දෙයි, එක් වේලෙක අඹුව සිත් ගන්මි යි වී සාල් පෑර දී පැන්කත් ඇද දී නොයෙක් කර්මාන්ත කෙරෙයි. නොබෝ කලකින් මෙසේ දුක් ගැන්මෙන් තෙමේ ඉතා ම ජරා වී ය. ජාවි නම් අඹු ඕහට භද්දක නම් පුතකු වදා එතැන් පටන් පුතු වඩාගෙන තොමෝ ඔහු කෙරේ හිඳ මොහු අතින් ම සියලු කර්මාන්ත කරවයි. පුතු නලවන කල මොහු ඇසිය දී ‘මස්කත් අදිනා කත් සුමයගේ පුත නොහඬ’යි කිය කියා මෝහට බැණ බැණ පුතු නලව යි. එ කල ඒ තෙම ලජ්ජා ඇති ව: “කෙළි තෝ මා නිරාශ්‍රය වූ එ කලා එකකු ය යි සිතයි ද? මම නිරාශ්‍රය එකෙක්ම නො වෙයි. අනන්ත ජිනයෝ ය යි යන මාගේ යෙහලනු කෙනෙක් ඉතා බලවත්හ. මෙසේ තෝ මට බෙණෙයි නම් මම ඔවුන් කරා පලා යෙමියි” කී ය.

එ කල ජාවී ඔහුගේ බස් අසා “මෝහට මා කියන බස් ප්‍රිය නොවන වන, මොහු ජරාපත් මහල්ලා නිසා යෞවන පුරුෂයෝ මා කරා නො එළැඹෙති. මෝහට නොයෙක් කන්කටුළු බස් කියා බැණ මොහු පලවා පියා සිත් සේ වෙසෙමි”යි සිතා එ තැන් පටන් දවසින් දවස පුතු තොමෝ ම හඬ ව හඬවාලා පුතු නලවන ව්‍යාජයෙන් “මස් වැද්දහුගේ පුත නොහඬ. කත් අදනා සුමයගේ පුත නො හඬ, මූඩයගේ පුත නොහඬ, කොළතොල්ලගේ පුත නොහඬ” යනාදීන් කිය කියා මෝහට බැණ එකාවනු ව ලජ්ජාකරවයි. එකල එ තෙම ඇගේ නින්‍දා කිරීමෙන් ඉතා මහත් වූ ලජ්ජා ඇතිව අඹුව හා පුතු හැර ගිහිගෙයි කලකිරී නැදිමයිලන්ටත් නො කියා ඒ දනව්ව හැර පෙර ගිය සලකුණෙන් බරණැස් වැද අනන්ත ජිනයෝ කොයි දැ යි දුටු දුටුවන් අතින් විචාරයි. සමහරු එනම් කෙනෙකුන් අපි නුදුටුම්හයි කියති. සමහරු කෙසේ වූ කෙනෙක් දැ යි විචාරති. ඔහු ඉතා සන්තෝෂ කෙනෙක, උන් වැනි කෙනෙක් නැත. අසවල්හූ වැනියෝ ය යි කිය නො හෙමි. ඔහු තුමූ ම තමන් වැනි කෙනෙක, අමා කඳක් වැනි කෙනෙක, කප්රුකක් වැනි කෙනෙක, සිතුමිණිරුවනක් වැනි කෙනෙක, ගනරන් පිඬක් වැනි කෙනෙක, සුපිපි පියුමක් වන් මුවපියුමක් ඇති කෙනෙක, විදුලිය වන් කන්වැල් සඟළක් ඇති කෙනෙක, නලළැ මකුල් තිලකයක් වන් ඌර්ණරෝමයක් ඇති කෙනෙක, නන් සුවඳින් පිරුණා වූ ශ්‍රී මුඛයක් ඇති කෙනෙක, සඳවලාකඩක් වන් රත් සිවුරක් ඇති කෙනෙක, ඇත් ගමනක් වන් සන්හිඳී යන ලීලා සම්පන්න වූ ගමන් ඇති කෙනෙක, මිහිරි වූ කටහඬ ඇති කෙනෙක, දෙතිස් අසූලකුණු ඇති කෙනෙක, සියලඟින් නිකුත් සවණක් රස් ඇති කෙනෙක. ඔහු හිරුට වඩිති, සඳුට වඩිති, දෙවියන්ට වඩිති, බඹුන්ට වඩිති, අනන්තජිනයෝ ය යි කියති, මෙම බරණැස දි එක් සමයෙක. අතරමගදී මග යන්නවුන් දිටිමි. ඔහු දැන් කොයි වෙසෙද් දැ”යි විචාළේ ය.

එ කල නුවණැති සත්ත්‍වයෝ මොහු කියන සලකුණෙන් බුදුන් විචාරණ බව් දැන එවකට බුදුන් දෙවුරම් වෙහෙර වැඩ වසන කල් හෙයින් කොසොල් රජුගේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර ගොස් දැකගන්ව යි කීහ.

එකල ස්වාමිදරුවෝ මොහු තමන් වහන්සේ කරා එන කල් දැන මහණෙනි! අනන්තජිනයෝ කොයිදැ යි විචාළ කෙනෙක් ඇත් නම් ඔහු මා කරා ගෙනෙවයි වදාළ සේක. එ සමයෙහි මෙතෙමේ දෙව්රම් වෙහෙර දොරටුවට ගොස් සිට අනන්තජිනයෝ නම් වූ මාගේ රූපත් යහළුවෝ කොයිදැ”යි කී ය. පෙර බුදුන් අතින් නියෝග ලත් භික්‍ෂූන් වහන්සේ ඔහු ගෙන ගොස් බුදුන් දැක්වූ සේක. හෙතෙමේ බුදුන් දැක ඝර්මකාලයෙක අමා විලෙක ගැලෙන්නවුන් සේ බුදුන් දැක සිත් සේ වැඳ පෙරළී ‘අනන්ත ජිනයෙනි, මා හඳුනාදැ’යි විචාළේ ය. එ වේලෙහි ස්වාමිදරුවෝ ඔහු කෙරෙහි උපන් මහත් කුළුණු ඇති ව ‘එසේ ය උපකයෙනි, තොප හඳුනම්හ. එ දවස් බෝමැඩ ඉසිපතනයට යනුවමෝ අතරමග දී තොප දුටුවමෝ වේද, මෙතෙක් දවස් කොයි විසූදැ යි වදාළ සේක. හෙ තෙමේ තමා වංඟහාර නම් දනව්වෙහි විසූ නියාවත්, ජාවී නම් භාර්‍ය්‍යාවක් රක්‍ෂාකොට භද්දක නම් පුත්‍රයා ලත් නියාවත්, ඇගේ අවඥාවෙන් ගෘහවාසයෙහි කලකිරී බුදුන් කරා දෙව්රම් වෙහෙරට තමා ආ නියාවත් බුදුන්ට දැන්වීය. එයින් කීහ:-

ජාවිඤ්ච භද්දකං හිත්‍වා-අනන්තජින සන්තිකං

වංගහාරා ජනපදා උපකො ජෙතවනං ගතො.

ඉක්බිත්තෙන් උපක නම් ආජීවක “ස්වාමීනි, අනන්තජිනයෙනි, මා තොප කෙරේ මහණ කරවාගනුව”යි කීය. ස්වාමිදරුවෝ වදාරණ සේක් “තෝ ඉතා මහල්ලෙහි ය. මාගේ ශාසනයෙහි මහණ ධම් පුරාගත වේදැ”යි වදාළ සේක. “මනාකොට පුරමි! ස්වාමීනි යි” කී ය. එ වේලෙහි බුදුහු ඔහු මහණකරවා උපසම්පදා සීලය දී ඕහට තරම්වූ කමටහන් උගන්වා වදාළ සේක. එ කල විදර්ශනා වඩා නොබෝ දවසකින් අනාගාමී ව උපක නම් මහතෙර ව බුදුසසුන් හොබවා බුදුන්ට සම්‍යක් ප්‍රතිපත්තින් පූජාකොට ආයු කෙළවර මිස දහසක් කපට ආයු ඇති අවිහ නව සුද්ධාවාස බඹලොව දොළොස් යොදුන් බ්‍රහ්මාත්ම භාවයකින් ඉපද, උපන් කෙණෙහිම රහත් ව දස ඇඟිල්ලෙන් දිවූ දසරස් කඳින් දසදහසක් සක්වළ අලු කරණ තරම් මහත් වූ ආනුභාව ඇති ව දැන් දක්වා සුව විඳිනාහු ය. ඔහු මතු නො වෙයි. අපගේ මේ බුද්ධෝත්පාදයෙහි සද්දෙනෙක් මෙහි දී අනාගාමී ව ගොස් එම බමලොව ඉපද උපන් කෙණෙහි ම රහත් වූ දහසක් කප් බ්‍රහ්මසුව විඳිනාහු ය. වදාළේ මැනෝ:-

අවිහං උපපන්නාසෙ - විමුත්තා සත්ත භික්ඛවො,

රාගදොස පරික්ඛිණා - තිණ්නා ලොකෙ විසත්තිකං,

.

උපකො පලගණ්ඩො ච-පුක්කුසාති ච තෙ තයො,

භද්දියො ඛණ්ඩ දෙවො ච - බාහුදන්ති ච පියබයො;

තෙ හිත්‍වා මානුසං දෙහං - දිබ්බං යොගං උපච්චගුං - යි.

මෙසේ ඕහට මතු වන වැඩ දැක අටළොස් යොදුන් මඟ ගෙවා ශ්‍රීපාදයෙන් වැඩ එ දවස් ඔහු හා සමග මෙතෙක් කථාකොට මාගේ ස්වාමිදරුවෝ බරණැස ඉසිපතනාරාමයට එදා සවස වැඩි සේක.

පස්වග මහණුන් හමුවීම

එ කල පස්වග මහණහු දුරින් වඩනා බුදුන් දැක; “භවත් ගෞතමයෝ දුෂ්කර ක්‍රියා හැරපියා තමන් රජකුලෙන් මහණ වූ හෙයින් සුඛිතයන් විසින් දෙනලද මධුර වූ ආහාරය අනුභවකොට ඡවි පහස් ලදින් දැන් ප්‍රභා සම්පන්නව රන්කඳක් සේ ව ගියාහුය. බඩ පුරා කන බත් හෙයින් මුඛ සන්තෝෂ ඇති ව යහපත් වූයේ නොයෙක් උත්සාහ කොට බුදු විය නො හී දැන් අප කරාම එමින් සිටියහ. ඔහු රජ කුලෙහි උපන් බැවින් හිඳිනා අසුන් පමණක් දෙම්හ. හුනස්නෙන් නොනැඟෙම්හ, පෙර ගමන් නො කරම්හ. පෙර සේ ඔහු අපි නො වඳුම් හ”යි කතිකා කළහ.

එ කල මාගේ ස්වාමිදරුවෝ ඒ භික්‍ෂූන්ගේ අදහස් දැන එකොළොස් දහස් පන්සියයක් මහා ගඞ්ගාවන් පඤ්ච මහා ගඞ්ගාවට මෙහෙයා ලුවා සේ, අනන්තාපරියන්ත වූ සත්ත්‍වලෝකයෙහි පැතිර සිටිනා මහා මෛත්‍රී නමැති ජලප්‍රවාහය ඒ පස්දෙනා කරා ම මෙහෙයාලූ සේක. එ වේලෙහි සැඩවතුරෙහි මළ පරඬලාපත් තුබූ පළෙහි තිබිය නොහී ඉපිළ පැනනැංගා සේ බුදුන් මෛත්‍රී කරත් කරත් තමන් කරා වඩුත් වඩුත් බුදුරස් පෙලින් පෙළ හී තමන් කරා වදුත් වදුත් පස්දෙනම හුනස්නෙහි හිඳ ගත නොහී සෙල් වී පැන නැංගාහ. ස්වාමිදරුවන් ළඟට වඩු ත් වඩු ත් බුද්ධ තේජසින් සිට ගත නො හී පෙරමගට ගොස්, තව ද සිටගත නො හී, බුදුන් වැඳ පෙරළී පාසිවුරු අතින්ගෙන හිඳිනා අසුන් පනවා ආදරයෙන් ශ්‍රීපාදය වැඳ සෝධා ඇඟට පත්සලා පැන් පවස් විචාරා බුදුන් බුදු වූ බව නො දැන සාමීදි කථා කරන්නාහු “ආවුසො” වාදයෙන් සම සමයන් සේ කථා කෙරෙති. එ කල ස්වාමිදරුවෝ මේ භික්‍ෂූහු මා බුදුවූ බව් නො දනිති. මා හා යම් කෙනකුන් ලෝකයෙහි නැති බව නො දනිති, මම් ම මා බුදු වූ බව මොවුන්ට හඟවමි’යි සිතා “මහණෙනි සම සමයන් හා කථා කරන්නා සේ ලොවුතුරා බුදුන් හා කතා නො කරව. මරසෙන් බිඳහැරපීමි. වසවත් මර මන් බිඳපීමි. ගිරිමෙවුලා මතැ‘තු දන බිම අන්වාපීමි. එකොළොස් මහා යුද්ධයෙහි ජයගතිමි. මරු දැමූ චක්‍රායුධය පාබිසි කෙළෙමි. මහපොළොව ගුගුරුවාපීමි. මහමෙර සක්වළගල් නටවාපීමි. දෙවි බඹ කැලන් කළ පූජා විඳපීමි. මරඟනන් පලවාපීමි. මහබඹුන් ලවා සාධුකාර දෙවාපීමි. මහණෙනි! සව්නේ ගෙවා බුදුව තුන්ලෝ මුදුන්පත්වීමි. තොප හැමදෙනාගේ සැක හැර අද රෑ දම්සක් දෙසුම් අසා බලව”යි වදාළසේක.

දම්සක් පැවැත්වීම

එබස් අසා පස්වග මහණහු බුද්ධතේජසින් වෙවුලා කේශර සිංහයක්හු දුටු ඇත්පැටවුන් සේ විදව දළ නො සොල්වා එකත්පස්ව උන්හ. එ වේලෙහි ස්වාමි දරුවාණන් වහන්සේ අනන්තා පරියන්ත වූ බුදුන් දම්සක් දෙසන දා වැඩහිඳිනා වූ ධම්මභූමියෙහි පැනනැගි බුද්ධාසනයෙක් විය. මහමුහුද රළ පෙළ මැඩ අඳුරු විදහා උදයපර්වතයට පැන නැංගාවූ සම පනස් යොදුන් ඒ හිරු මඬල සේ බුද්ධාසනයට පැනනැඟී සියලඟින් බුදුරස් කඳ හරින්ට පටන්ගත් සේක. දිවු බුදුරැස් බඹලොව ගැසී සක්වළගලින් සක්වළ ගලට පැන පැන දිවන්නට පටන්ගත. එ කෙණෙහි නිශා නමැති කාන්තාව තරුපෙළ නමැති ගෙලෙ මුතුදම් පැලඳ, නිල්වලා නමැති කෙස්වැව තනා, දික් නමැති හස්තයෙන් සඳරස් නමැති දිවසළු විදා හැඳ, බඹලෝ නමැති මිණිඔටුනු දරා, තුන්ලෝ නමැති ඇඟ සොල්වා, කෞමද නමැති ඇස් දල්වා, භෘඞ්ගනාද නමැති ගායනා පතුරුවා, මාගේ ස්වාමිදරුවන් වහන්සේ පළමුවන මඟුල් බණ පූජාවට මෙසේ ලීලොපෙතව සැරහී සිටගත.

එ කෙණෙහි ම ඈට ම අලඞ්කාර වූ රුවන්තෝඩු දෙකක් තිබුවා සේ සමපණස් යොදුන් හිරුමඬල පශ්චිම චක්‍රවාට කර්‍ණය සරහා සිටගත. පූර්‍වචක්‍රවාට කර්‍ණෙයන් පැනනැගි එකුන් පණස් යොදුන් සඳමඬල ප්‍රභා විහිදුවමින් සිටගත. එ කෙණෙහි මාගේ ස්වාමිදරුවන්ගේ ධර්‍මදේශනා කාලය සම්ප්‍රාප්ත විය. මෙරගල නටා පැනනැංග සත්කුළ පව්වෝ බුදුන් දසාවට වැඳුම් ගත්හ. සක්වළගල සක් වළල්ලක් සේ බමා ලී ය. මහමුහුද ඇද සදාලු බෙරයක් සේ රළ සන්හිඳී පස්පියුමෙන් සැදී ගිය. මහ පොළොව සෙලවී පැනනැංග, මේ ආදි වූ දෙතිස් මහා පූර්ව නිමිත්ත පූජාවෝ ද මගුල් බණට පහළ වූහ.

එ කෙණෙහි දසදහසක් සක්වල දිව්‍යබ්‍රහ්මයෝ ‘අපගේ ස්වාමිදරුවෝ දහම් අමාවතුරෙහි අප හැම ගලා සංසාරදුක් නමැති මහ ගිම් නිවති. ඔහුගේ දහම් අමාරස බොන්නට යම්හ’යි කියා දසදහසක් ලොව අසුරයන් වන් ශක්‍රපුරය සේ ඇළල, දසදහසක් සක්වළ දිව්‍ය නාගයෝ කඩුපුල්මල් මිටි ගෙන දිවූ ය. ගරුඬයෝ මහ පියුම් තුඩින් කඩාගෙන දිවුය. ගන්‍ධර්වයෝ තූර්‍ය්‍යභාණ්ඩ ගෙන දිවුය. අසුරයෝ පළොල්මල් ගෙන දිවුය. දෙවියෝ පරසතුමල් ආදි වූ නන් විසිතුරු දිවමල්ගෙන දිවුය. බ්‍රහ්මයෝ සේසත් ගෙන දිවුය. දසදහසක් සක්වළ මුළුල්ලෙහි සඳහිරුදෙවියෝ දිවුය. පළමුව දිවු පිරිස ගව්වක් සා තැන සැට සැත්තෑව බැගින් සිටියහ. දෙවනුව දෙවියන් එත් එත් අල්ලක් සා තැන අසූවක් අනූවක් බැගින් සිටියහ. තුන්වෙනුව දෙවියන් එක් එක් අඟලක් සා තැන සියයක් දහසක් බැගින් සිටියහ. සතරවෙනුව දෙවියන් එත් එත් ඉදිකටු මලක් සා තැන සියයක් දහසක් බැගින් සිටියහ. පස්වනුව දෙවියන් එත් එත් ඉදිකටු අගක් සා තැන දහසක් බැගින් සිටියහ. සවනුව දෙවියන් එත් එත් එම සා තැන සුවහසක් සුවහසක් බැගින් සිටියහ. මෙසේ දසදහසක් සක්වළ මුළුල්ලෙහි සැටදහසක් කාමාවචර දිව්‍ය ලෝකවල දෙවියන් තමන් තමන්ගේ දෙව්ලෝ සිස්කොට ගහනව අවුත් හි වි ගැවසී සිටගත් වේලෙහි;

තව ද දසදහසක් සක්වළ අරූතල අසංඥ තලයන් හැර එක්ලක්‍ෂ පනස් දහසක් රූපාවචර බ්‍රහ්මලෝකවලට එක බ්‍රහ්මයකුත් නො රඳා දොළොස් යොදුන් උස ඇති ඒ සා බ්‍රහ්මසේනාව තුන්යොදුන් ගවු සා සේසත් ගෙන අවුත් සිටගත්හ. යහලක් පමණ ධාන්‍යයන් එක ලාහස්සෙක නො ගන්නා සේ මේසා සක්වළ ගබ සතර රියන් ගබඩා සුඟක් සේ අවකාශ මඳ විය. එකල දෙවියෝ සත්වනු ව එන බ්‍රහ්මසේනා දැක තව ද සියුම් වෙස් මවාගෙන කෙස් ලොම් අගක් සා තැන සැට සැත්තෑ අසූ අනූ බැගින් සිට ගත්හ. මෙසේ සිටි දිව්‍ය-බ්‍රහ්ම සේනා සක්වළ ගල පරියන්තව අකනිටා බඹලොව දක්වා නලෙක පුරාලූ රන්සුණු සමූහයක් සේ අවකාශයක් නැති ව ම සිට ගත්හ. බඹලෝ සිට වට පැලක් සා ගලක් හෙළාපී කල සාරමස් දෙපෝයකින් අවුත් පොළොවට පැමිණෙයි. මෙසේ දුරු වූ අවකාශය මාගේ බුදුන්ගේ පළමුවන මගුල් බණෙහි පිරිස් ගහනයෙන් මෙසේ අස්ලොමක් සා තැනුත් අවකාශයක් නැතිව සිටගත්තා වූ බණපිරිස ම ය.

තව ද බුදුන් වැඩහුන් බුද්ධාසනයේ පටන් බ්‍රහ්මාණ්ඩය දක්වා බුදුන් සිරසින් පැනනැගි බුදුරස් කඳට ම අවකාශ විය. විමනෙක් වේව යි, දෙවි බඹ කෙනෙක් වේව යි බුදුරස් කඳෙහි නො ගෑවෙන්නාහු ම ය. ඉක්බිත්තෙන් ස්වාමිදරුවන් සිරසට පිදූ සඳමඬුලු සේ දස දහසක් මහාබ්‍රහ්මයෝ දස දහසක් සේසත් මතු මතුයෙහි තබා සිට ගත්හ. දස දහසක් ශක්‍රයෝ බුදුන්ගේ යසරැස් උරා බොන්නවුන් සේ දස දහසක් ජයසක් තුඩ තබාගෙන පිඹින්ට පටන්ගත්හ. දස දහසක් සුයම් දෙවියෝ දස දහසක් චාමර සලති. දස දහසක් සන්තුසිත දෙවියෝ දස දහසක් මිණි තල් වැට සලති. සෙසු දෙවියෝ රන් තොරණ මිණි තොරණ රන් ඇගෑ මිණි ඇගෑ රන් පියුම රුවන් පියුම රන් මල් රුවන් මල් රන් කරඬු රුවන් කරඬු රන් සුණු රුවන් සුණු මුතු සුණු රන් දම් රුවන් දම් මුතු දම් ආදි වූ පූජා භාණ්ඩ ගෙන සිට පූජාකරන්ට පටන් ගත්හ. එකල දෙවියන්ගේ පූජා කෝලාහලයෙන් බ්‍රහ්මාණ්ඩය දක්වා ගැවසී ගත් මුහුද ගිගුමක් සේ එකනින්නාද විය. දෙවියන්ගේ අරගලය සන්හිඳුවාලන්ට සමර්ථ අන්කිසි සත්ත්‍වයෙක් නැත්මය. බුදුන් වටා සිටි දස දහසක් ශක්‍රයෝ ඒ තමන් කළ මනා ධුරයක් හෙයින් දස දහසක් දකුනු සක් පිඹ සක් පිට වතුරුවා ගෙන විසි දහසක් අත් ඔසවා එකවිට අත්පොළසන් දී ‘ඔ හෝ බණ පිරිස සන්හිඳෙව’ යි කියා තුන්ලෝ වෙවුල්වා බැණ නැංගාහ. එ වේලෙහි ඒ ශක්‍රඝෝෂාව අසා තුන්ලෝ පුරා සිටි දෙවි බඹ පිරිස් රළ නැති මුහුදක් සේ නිශ්ශබ්ද වූහ. එකෙණෙහි දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළොව සාධුකාර දින.

මාගේ ස්වාමිදරුවෝ ඒ මහීනාදය හා සමග තමන් වහන්සේගේ පාරමිතා නමැති දියෙන් පිරුණු වූ, බුද්ධඥාන නමැති සූර්‍ය්‍ය කාන්තියෙන් ප්‍රබෝධ වූ, සුරකත වූ ජිහ්වාධාතු නමැති කෙමි ඇති දන්තධාතු නමැති කෙසුරු ඇති, සුරකත වූ ඔෂ්ඨධාතු නමැති පත්‍ර ඇති, සද්ධර්ම නමැති මධුබින්‍දු ඇති, ශ්‍රීමත් වූ මුඛපද්මය විවෘත කොට බැණ නැගි බසින් දිවු සුවඳ ගඳින් සියලු බණ පිරිස සුවඳ පිඬක් සේ කෙරෙමින්, “ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො භීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්‍ථසංහිතො යොචා‘යං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්‍ථසංහිතො එතෙ තෙ භික්ඛවෙ උභො අන්තො අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චන්‍ධුකරණි ඤාණකරණි උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තති”ති යනාදීන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට පටන්ගත් සේක.

එ කල පූර්ව චක්‍රවාටයෙහි සිටි දෙවියෝ බුදුහු අප මුහුණ බල බලා ම හිඳ බණ දෙසති යි සිතති. දක්‍ෂිණ චක්‍රවාටයෙහි සිටි දෙවියෝ බුදුහු දකුණුදිග් බලා ම වැඩහුන්සේකැ යි සිතති. පශ්චිම චක්‍රවාටයෙහි සිට දෙවියෝ බුදුහු පශ්චිම දිග් බලා ම වැඩහුන් සේකැ යි සිතති. උත්තර චක්‍රවාටයෙහි සිටි දෙවියෝ බුදුහු උතුරු දිග් බලා ම වැඩහුන්සේකැයි සිතති. දස දිග සිටි දෙවියෝ තමන් තමන් දිසාවට මුහුණ ලා වැඩහුන් සේකැ යි සිත සිතා පින පිනා ම බණ අසති. සදෙව්ලොව සිටි දෙවියෝ තම තමන්ගේ දිව්‍යලෝකයෙහි දී ම බණ වදාරණසේකැ යි සිත සිතා ම සතුටු සතුටු ව ම අසන්නාහු ය. බ්‍රහ්මලෝකවල සිට බණ අසන බ්‍රහ්මයෝ තමන් තමන්ගේ බඹලොව දී ම වදාරණ බණෙකැ යි සිත සිතා විඳ විඳ අසති. බුදුහු නම් සඳ සේ උපමා ඇති සේක. යම් සේ ගුවන් මුදුනෙහි දිලියෙන්නා වූ සඳ බැලු බැලු සත්ත්‍වයන් අභිමුඛයට ම පෙනේ ද, ඉවත් ව නො පෙනේ ද, එසෙයින් ම මාගේ ස්වාමි දරුවෝත් තමන් වහන්සේ සියලු සතුන් කෙරෙහි සම ව පවත්නාවූ මහා කරුණා ඇති හෙයින් සියලු සතුන් අභිමුඛයටම පෙනි පෙනී සියලු සතුන්ගේ සිත් තමන් වහන්සේ කරා ම ඇද ඇද සියලු සතුන්ගේ ඇස් තමන්වහන්සේගේ ඇස් හමුවට ඇද සියලු සතුන්ගේ ප්‍රේම නමැති මහා ගඞ්ගාවන් තමන් වහන්සේගේ රූප නමැති මහ මුහුදට ඇද ප්‍රේම වඩ වඩා, බණ වදාරණ සේක්මය.

තව ද අකනිටා බඹලොව සිට බණ අසන්නා වූ, දොළොස් යොදුන් උස ඇති මහා බ්‍රහ්මයෝ දොළොස් රියන් උසින් මිනිස් ලොව වැඩහිඳ බණ වදාරන්නාවූ මාගේ ස්වාමිදරුවූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය පුන්සඳක් බලන්නවුන් සේ කර ඔසව ඔසවා බල බලා බණ අසන්නාහු ම ය. අනවලෝ මුදුන් ධාතුව සඳ මතුපිට නො දක්නවුන් සේ එක කෙනෙකුත් නො ම දක්නාහු ය. එදා තමා ස්වාමිදරුවන් බුදුව වැඩහුන් පන්සාළිස් හවුරුද්ද මුළුල්ලෙහි ම කිසි දෙවියෙක් බඹෙක් මරෙක් ඒ අනවලෝ මුදුන් ධාතුව නුදුටුයේ ම ය.

එ වේලෙහි පොළොව පටන් බඹලොව දක්වා ගැවසී සිටින මේ සා බණ පිරිසෙහි මේ සත්ත්‍වයා රාග චරිතය. මේ සත්ත්‍වයා ද්වේෂ චරිතය, මේ සත්ත්‍වයා මෝහ චරිතය, මේ සත්ත්‍වයා ශ්‍රද්ධා චරිතය, මේ සත්ත්‍වයා බුද්ධි චරිතය, මේ සත්ත්‍වයා විතර්ක චරිතය, යනාදීන් එකි එකී සත්ත්‍වයකුගේ සිත් තෙසැටක් තෙසැටක් නියායෙන් වෙන වෙන ම චරිත බලා වදාරණ සේක්මය. තවද මේ බ්‍රහ්මයා සිතුයේ මේ ය, මේ දිව්‍යයා සිතුයේ මේ ය, මේ අසුරයා සිතුයේ මේ ය, මේ යක්‍ෂරාක්‍ෂයා සිතුයේ මේ ය, මේ සිද්ධ විද්‍යාධරයා සිතුයේ මේ ය, මේ වස්සවලාහකයා සිතුයේ මේ ය, මේ නාග සුපර්ණයා සිතුයේ මේ ය, මේ ස්ත්‍රී මේ පුරුෂයා සිතුයේ මේ ය, මේ අපාද ද්විපාදයා සිතුයේ මේ ය, මේ චතුෂ්පාදයා සිතුයේ මේ ය, මේ බහුප්පාදයා සිතුයේ මේ ය, යටත් වශයෙන් මේ පණු පැණියා සිතුයේ මේ ය, මේ කුරුකුහුඹුවා සිතුයේ මේ ය යි යනාදීන් සියලු සතුන්ගේ සිත් දැක බණ වදාරණ සේක් ම ය.

තව ද මාගේ ස්වාමිදරුවන් එක මාගධික ශබ්දයෙන් වදාරන්නාවූ බණ බ්‍රහ්මයෝ බ්‍රහ්ම භාෂාවෙන් කියති යි සිතති. දිව්‍යයෝ දිව්‍ය භාෂාවෙන් කියති යි සිතති. අසුරයෝ අසුර භාෂාවෙන් කියති යි සිතති, නාගයෝ නාග භාෂාවෙන් කියති යි සිතති. ගරුඬයෝ ගරුඬ භාෂාවෙන් කියති යි සිතති. මනුෂ්‍යයෝ වෙන වෙන තමන් තමන්ගේ නො එක් මනුෂ්‍යභාෂාවෙන් කියති යි සිතති. සිවුපාවෝ තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතති. හංස මයූරාදි පක්‍ෂීහු තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතති. යටත් වසයෙන් සියලු ක්‍ෂුද්‍ර ප්‍රාණීහු තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතති. කුරුකුහුඹු සිණි පැණි ආදි වූ සූක්‍ෂම ප්‍රාණීහු තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතා විඳ විඳ අසති. මෙසේ සියලු සතුන්ගේ භාෂානුකූල ව බණ වදාරණසේක්ම ය. මේ සාරාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි ඉස් දී, මස් දි, ඇස් දී, ලේ දී, අඹු දරුවන් දී, රාජ්‍ය දී, උතුම් වූ ධන දී, කළ පාරමිතාවන්ගේ ආනුභාවයෙන් ජනිත වු පින් සම්භාරයන් හෙයින් මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේගේ මේ අසාධාරණ වූ බුද්ධානුභාවය හා බුද්ධඥාන හා බුද්ධවික්‍රම හා බුද්ධශ්‍රි අචින්ත්‍යම ය. අසදෘශ ම ය. ඔබ සේ වූ බුදුකෙනකුන්ට මුත් අනික් සත්ත්‍වයක් හට ඒ අවිෂම ය. අචින්ත්‍යම ය. නො දැනේ ම ය. නො සිතේ ම ය. අසාධාරණම ය. ආශ්චර්‍ය්‍ය ම ය. විසමය ම ය, මට ද මේ ඇසූ සිතූ සියලු සතුන්ට ද මේ වික්‍රමය වාසනා වේව යි මෙසේ මාගේ ස්වාමිදරුවෝ සියලු සතුන් කැමැති කැමැති රස කවා පොවන එක් මෑණිකෙනකුන් සේ හැමදෙනා කැමැති කැමැති චරිතයෙන් බණ වදාරා ඒ දම්සක් පැවතුම් පළමුවන සූත්‍රදේශනාව මෙසේ සමහර කොට වදාළ සේක.

එ කෙණෙහි පස්දෙනා වහන්සේට වැඩිමහලු අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් මහ තෙරුන් වහන්සේ කෙළ දහසක් පමණ කෙලෙසුන් නසා දහසක් නයින් සම්පූර්ණ වූ සෝවාන් මාර්ගයෙන් වැඳ අමා මහ නිවන් පුරය දුටු සේක. එදා අසඞ්ඛ්‍යයක් දෙවියෝ සෝවාන් මාර්ගයෙන් වැද අමාමහ නිවන් පුරය දැක සතුටු වූහ. තව ද අසඞ්ඛ්‍යයක් දෙවියෝ දෙවන වූ සෙදගැමි මාර්ගයෙන් වැඳ අමාමහ නිවන් පුරය දැක පිනා ගියහ. තව ද අසඞ්ඛ්‍යයක් දෙවියෝ තුන්වන වූ අනාගාමි මාර්ගයෙන් වැඳ අමාමහනිවන් දැක සතුටු වූහ. තව ද අටළොස් කෙළක් මහා බ්‍රහ්මයෝ සතරවන වූ රහත් මගින් වැඳ අමාමහනිවන්පුරය දැක සසර දුකින් මිදී ගියහ. මෙසේ එදා මාගේ ස්වාමිදරුවෝ ඇසළ මැදිපොහෝදා පතළ සඳපානේ කළා වූ පළමුවන ධර්මදේශනාවෙහි තුන් අසඞ්ඛ්‍යයක් දෙවියන් හා අටළොස් කෙළක් බ්‍රහ්මයන් නිවන් දක්වා නිවන් කෙළවර බණ සමහරකොට තොප තොපගේ විමන් යව යි අවසර දුන්සේක. එ කල දිව්‍ය බ්‍රහ්මයෝ ස්වර්ණ රස ධාරාවෙන් අභිෂික්ත ගාත්‍රා ඇතියවුන් සෙයින් පින පිනා සාධුකාර පවත්වා බුදුන් වැඳ ප්‍රදක්‍ෂිණා කොට බුදුන්ට ස්තුති කොට තමන් තමන්ගේ භවනයට ගියාහුය.

මෙසේ බුදුහු තමන් වහන්සේ පළමුවන ධර්මදේශනාව කළ දා පූර්වනිමිත්ත නම් වූ මහා පූජා දෙතිසක් හා, කාමාවචර දිව්‍යරාජයන් කළ අනූ දහසක් පූජා හා, මහාබ්‍රහ්මයන් කළ එක්ලක්‍ෂ පනස් දහසක් පූජා හා, මෙසේ දෙලක්‍ෂ සතලිස් දහස් දෙතිස් මහා පූජාවක් ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, සද්ධර්ම මහා චක්‍රවර්ති වූ, සද්ධර්ම මහා මේඝ වූ, සද්ධර්ම මහා ප්‍රවාහ වූ, සද්ධර්ම මහා ගඞ්ගා වූ, සද්ධර්ම මහා සමුද්‍ර වූ, සද්ධර්ම මහා චූඩාමණි වූ, සද්ධර්ම මහා කිරීට වූ, සද්ධර්ම මහා තිලක වූ, සද්ධර්ම මහා කේතු වූ, සද්ධර්ම මහා නිධාන වූ මාගේ ස්වාමිදරු වූ, ශෞද්ධෙදනීය වූ, ගෞතම ගෝත්‍රෙයහි උපන් හෙයින් ගෞතම නම් වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේමැ යි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථො,

අත්තානු රූපං අරහන්තිලොකෙ,

තස්මා ජිනො අරහති නාම මෙතං යි.

මේ පූජාවලියෙහි අප බුදුන් පළමුවන දම්සක් පැවතුම් සූත්‍ර දේශනායෙහි දී ලද

ඉසිපතනාරාම පූජා කථා නම් වූ තෙළෙස් වන පරිච්ඡේදය නිමි.

14. වේළුවනාරාම පූජා කථා

පස්වග මහණුන්ගේ මාර්‍ගඵලාධිගමය

තව ද අප බුදුන් රජගහා නුවර දී ලද වේළුවනාරාම පූජා නම් කවරහ? යත්;

මෙසේ මාගේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයාගේ ආරාධනායෙන් ඇසළ මස මැදි පොහෝ ලද උත්‍රසළ නකතින් දම්සක් පතුරුවා දෙවි බඹුන්ට සමු දී යවා, එදා රෑ පස්තරුවෙන් පිරුණු සඳමඬලක් සේ පස්වග මහණුන් හා සමග එම ඉසිපතනයෙහි පළමු වන වස වැස, දෙවන දා උදාසන සතරදෙනා වහන්සේ සිඟායා දී, භද්දිය නම් මහාතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට, තුන්වන දා උදාසන ඔබ ඇතුළු වූ සතරදෙනාවහන්සේ සිඟ යවා වප්ප නම් මහතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට, සතරවනදා උදාසන ඔබ ඇතුළු වූ සතරදෙනා වහන්සේ සිඟා යවා මහානාම නම් මහ තෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට, පස්වන දා උදාසන ඔබ ඇතුළු වූ සතරදෙනා වහන්සේ සිඟා යවා අස්සජි නම් මහ තෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට, සවන දා උදාසන පස්දෙනා වහන්සේට අනිත් ලකුණු නම් සූත්‍ර දේශනාවක් කොට එකවිට ම රහත්කොට, එ තැන් පටන් පඤ්ච මහා ශාඛායෙන් දිලියෙන්නා වූ කප්රුකක් සේ පස් මහ රහතන් හා සමග එම වෙහෙර වාසය කරන සේක.

ඒ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ කෙබඳු වූ පිනක් කොට මෙබඳු වූ බුදුකෙනකුන්ගේ සියලු මහ සව්වන්ට පළමු ව අග්‍ර වූ නිවන් දුටුසේක් ද? යත්; පෙර මහා විපස්සි නම් බුදුන් සමයෙහි බන්‍ධුමතී නම් නුවර චූලකාළ නම් සිටුව හැල් කුඹුරෙක බඩ තළවා පැන් නො වකා කිරිපිඬු පිසවා බුදුපාමොක් මහසඟ පිරිස වළඳවා මෙසේ ම ඒ එක කෙතැ ගොයමින් නව වාරයක් අග්‍රභෝජනය දී මතු බුදුකෙනකුන්ගේ සස්නෙහි මම පළමුවන අග්‍ර දෙසුම් අසා අග්‍ර වූ නිවන් රස ලද්දවුන් කෙරෙහි අග්‍රවෙම්ව යි ප්‍රාර්ථනා කොට ඒ පිනින් එකානූකපක් මුළුල්ලෙහි අපායට නො ගොස් දිව්‍යලෝකයෙහි හා මනුෂ්‍යලෝකයෙහි සුව විඳ ඇවිද දැන් අප බුදුන් සමයෙහි පළමුව අග දෙසුම් අසා පළමුව අමාමහ නිවන් දුටුසේකැ යි දතයුතු.

මෙසේ බුදුන් එහි වසන කල සුජාතා නම් සිටු දුව වැදූ බරණැස යස නම් සිටු පුත්‍රයාණෝ තුන් සෘතුවට කළ තුන්පායෙහි නළුවන් පිරිවරා උඩුමාලෙන් යටිමාලට නොබැස මහත් වූ ශ්‍රී විඳිනාහු, එක් දවසෙක නිදා පිබිද නාටක ස්ත්‍රීන්ගේ විකාර දැක අනිත් ලකුණු උපදවා සසර කලකිරී එ විගස ම යහනින් නැගී රුවන් මිරිවැඩි පයින් ගෙන ගොස් පායෙන් බැස නුවරින් නික්ම ගොස් මැදයම් රෑ බුදුන් වසන ඉසිපතන වෙහෙර සමීපයෙන් යෙති. එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ ඔහු යන්නවුන් දිවසින් දැක කතර ගොස් එන පුතකු පෙරමගට දිවන මවක සේ ඔහු පෙරමගට මහත් වූ කරුණාවෙන් වැඩ, අඳුරට මහත් වූ පානක් නගා පෑවා සේ බුදුරස් කඳක් ඔහු කරා හැර මග අලුකොට ලා ‘මෙසේ මා කරා එයි යසැ‘යි වදාළ සේක. ඒ සිටුපුත් බුදුන්ගේ ශබ්දය කණ හුනු වේලෙහි බුදුන් දිසාව බලා, තමාගේ රසින් දිලිහී පෙනෙන හිරු මඬලක් සේ බුදුරස් දිලියෙන බුදුන් දැක පිපාසිතයක්හු දුටු ආකාශ ගඞ්ගාව සේ, පෙනීගිය දුගියකු මහා නිධානයක් සේ, දුටු දිව්‍යයකු සුධා භෝජනයක් සේ, දුටු ඇතකු මහපියුම් විලක් සේ, හිරුරස් දුටු මහා පද්මයක් සේ, සන්තෝෂව පස්වනක් ප්‍රීතීන් පිනා දෙනකකරා දිවන වසුපුත් පැටවකු සේ බුදුන් කරා දිව පසඟ පිහිටුවා වැද එකත්පස් ව සිට බණ අසා එ කෙණෙහි ම සෝවාන් ව ඒහි භික්‍ෂුභාවයෙන් මහණ වූහ.

දෙවන දා උදාසන ඒ සිටාණන් පිය වූ බරණැස් සිටාණෝ පුතණුවන් මතුමාලේ නො දැක රෑ පලාගියහ යි අසා මහත් වූ ශෝකයෙන් හඬ හඬා පුතණුවන් පලාගිය මග දැක රන්මිරිවැඩි සලකුණෙන් මඟ නො වරදවා ගොස් මහණව සිටි පුතණුවන් හා ලොවුතුරා බුදුන් දැක පුතණුවන් කෙරෙහි ශෝකයෙන් වලපනට පටන් ගත්හ.

යස කුලපුත්‍රාදීන්ගේ පැවිද්ද

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ ගිනි කඳෙක හැල්පැන් [81]නමන්නා සේ දේශනා නමැති අමාදියෙන් සිටාණන්ගේ ශෝක නමැති මහ ගිනි නිවා වදාළ සේක. එ කෙණෙහි සිටාණෝ සෝවාන් වූහ. ඒ බණ වදාරණ වේලෙහි පුතණුවන් වහන්සේ රහත් වූ සේක. ඉක්බිත්තෙන් සිටාණන් ගිය කල්හි ඒ යස නම් ස්වාමීන්ගේ ගිහි යහළුවෝ සූපනස් දෙනෙක් යහළුවාණන් මහණ වූ බව අසා ‘අප යහළුවා අප කීවක් කෙරේයයි, ඔහු සිවුරු හරවාගෙන කෙළියට ගෙන එම්හ’යි වාසි කියා සුදු පිළිගෙන ගොස් සන්හුන් ගුණෙන් සිටි තෙරුන් වහන්සේගේ උපසමය හා බුදුන්ගේ රූසිරි දැක ‘අප යහළුවා ගිහිගෙයි වසන කලට වඩා දැන් ඔහුගේ මහණ වෙස ම ඉතා හොබනේ ම ය. සඳුට අනු වූ ගුරු තරුව සේ ඉතා හොබනේ ය. උතුමකු කෙරේ මහණ වි ය. අප යහළුවා ලද සිරි අපටත් වී නම් යෙහෙකැයි’යි සිත සිතා බුදුන් වැඳ එකත් පස්ව සිටියහ. බුදුහු ඔවුන්ගේ චරිත බලා බණ වදාරා අමා මහ නිවන් දක්වා දක්‍ෂිණ ශ්‍රි හස්තය දිගුකොට “එථ භික්ඛවෙ” යනාදීන් වදාරා සෘද්ධිමය වූ පාත්‍ර සිවුරු දී ඒ සූපනස් දෙනා මහණ කළසේක.

මේ යසාදි පස් පනස් යහළුවෝ ද පෙර කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදු උතුමාන කෙනකුන් දැක සසරින් ගොඩනැංගාහු ද? යත්; පෙර එක් කලෙක මේ පස්පනස් දෙන දැන් සේ ම යහළුව ඇවිදිනාහු දැරි ඇති ගැහැණියක අනාථ ව මිය වන මැදෙක වැදහොත්තිය දැක ඈ කෙරෙහි කරුණා උපදවා පින් නිසා දරසෑයක් බැඳ ඈ දවන්නාහු මිනිය දන වේලෙහි ඈ ඇගින් දදා නැගෙන බුබුළු දැක බුබුළු ගැසුණු වේලෙහි පොතු ගැලවුණු කුකුළලයක් සේ සර්වාඞ්ගය සුදුවන සේ දැක අනිත් ලකුණු උපදවා මේ සියලු සතුන්ගේ ම ධර්මයෙකැයි තිලකුණු මෙනෙහි කළහ. මෙසේ ඒ ජාතියෙහි මිනිය දවාපු පිණින් දිව්‍ය මනුෂ්‍ය ලෝකයෙහි සැරිසරා ඇවිද මේ බුදුන් සමයෙහි අපමණ කල් සුව සැපත් විඳ.

ඒ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ කෙබඳු වූ පිනක් කොට මෙබඳු වූ බුදුකෙනකුන්ගේ සියලු මහ සව්වන්ට පළමු ව අග්‍ර වූ නිවන් දුටුසේක් ද? යත්; පෙර මහා විපස්සී නම් බුදුන් සමයෙහි බන්‍ධුමතී නම් නුවර චූලකාළ නම් සිටුව හැල් කුඹුරෙක බඩ තළවා පැන් නො වකා කිරිපිඬු පිසවා බුදුපාමොක් මහසඟ පිරිස වළඳවා මෙසේ ම ඒ එක කෙතැ ගොයමින් නව වාරයක් අග්‍රභෝජනය දී මතු බුදුකෙනකුන්ගේ සස්නෙහි මම පළමුවන අග්‍ර දෙසුම් අසා අග්‍ර වූ නිවන් රස ලද්දවුන් කෙරෙහි අග්‍රවෙම්වයි ප්‍රාර්ථනා කොට ඒ පිණින් එකානූකපක් මුළුල්ලෙහි අපායට නො ගොස් දිව්‍යලෝකයෙහි හා මනුෂ්‍යලෝකයෙහි සුව විඳ ඇවිද දැන් අප බුදුන් සමයෙහි පළමුව අග දෙසුම් අසා පළමුව ම අමාම නිවන් දුටුසේකැ යි දතයුතු.

මෙසේ බුදුන් එහි වසන කල සුජාතා නම් සිටු දුව වැදූ බරණැස යස නම් සිටු පුත්‍රයාණෝ තුන් සෘතුවට කළ තුන්පායෙහි නළුවන් පිරිවරා උඩුමාලෙන් යටිමාලට නොබැස මහත් වූ ශ්‍රී විඳිනාහු, එක් දවසෙක නිදා පිබිද නාටක ස්ත්‍රීන්ගේ විකාර දැක අනිත් ලකුණු උපදවා සසර කලකිරී එ විගස ම යහනින් නැගී රුවන් මිරිවැඩි පයින් ගෙන ගොස් පායෙන් බැස නුවරින් නික්ම ගොස් මැදයම් රෑ බුදුන් වසන ඉසිපතන වෙහෙර සමීපයෙන් යෙති. එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ ඔහු යන්නවුන් දිවසින් දැක කතර ගොස් එන පුතකු පෙරමගට දිවන මවක සේ ඔහු පෙරමගට මහත් වූ කරුණාවෙන් වැඩ, අඳුරට මහත් වූ පානක් නගා පෑවා සේ බුදුරස් කඳක් ඔහු කරා හැර මග අලුකොට ලා ‘මෙසේ මා කරා එයි යසැ’යි වදාළ සේක. ඒ සිටුපුත් බුදුන්ගේ ශබ්දය කණ හුනු වේලෙහි බුදුන් දිසාව බලා, තමාගේ රසින් දිලිහී පෙනෙන හිරු මඬලක් සේ බුදු රස් දිලියෙන බුදුන් දැක පිපාසිතයක්හු දුටු ආකාශ ගඞ්ගාව සේ, පෙනී ගිය දුගියකු මහා නිධානයක් සේ, දුටු දිව්‍යයකු සුධා භෝජනයක් සේ, දුටු ඇතකු මහපියුම් විලක් සේ, හිරුරස් දුටු මහා පද්මයක් සේ, සන්තෝෂ ව පස්වනක් ප්‍රීතීන් පිනා දෙනක කරා දිවන වසුපුත් පැටවකු සේ, බුදුන් කරා දිව පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව සිට බණ අසා එ කෙණෙහි ම සෝවාන් ව ඒහි භික්‍ෂුභාවයෙන් මහණ වූහ.

දෙවන දා උදාසන ඒ සිටාණන් පිය වූ බරණැස් සිටාණෝ පුතණුවන් මතුමාලේ නො දැක රෑ පලා ගියහ යි අසා මහත් වූ ශෝකයෙන් හඬ හඬා පුතණුවන් පලාගිය මග දැක රන්මිරිවැඩි සලකුණෙන් මග නො වරදවා ගොස් මහණව සිටි පුතණුවන් හා ලොවුතුරා බුදුන් දැක පුතණුවන් කෙරෙහි ශෝකයෙන් වලපනට පටන් ගත්හ.

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ ගිනි කඳෙක හැල්පැන් [82]නමන්නා දේ දේශනා නමැති අමාදියෙන් සිටාණන්ගේ ශෝක නමැති මහ ගිනි නිවා වදාළ සේක. එ කෙණෙහි සිටාණෝ සෝවාන් වූහ. ඒ බණ වදාරණ වේලෙහි පුතණුවන් වහන්සේ රහත් වූ සේක. ඉක්බිත්තෙන් සිටාණන් ගිය කල්හි ඒ යස නම් ස්වාමීන්ගේ ගිහි යහළුවෝ සූපණස් දෙනෙක් යහළුවාණන් මහණ වූ බව අසා ‘අප යහළුවා අප කීවක් කෙරේයයි, ඔහු සිවුරු හරවාගෙන කෙළියට ගෙන එම්හ’යි වාසි කියා සුදු පිළි ගෙන ගොස් සන්හුන් ගුණෙන් සිටි තෙරුන් වහන්සේගේ උපසමය හා බුදුන්ගේ රූසිරි දැක ‘අප යහළුවා ගිහිගෙයි වසන කලට වඩා දැන් ඔහුගේ මහණ වෙස ම ඉතා හොබනේ ම ය. සඳුට අනුවූ ගුරු තරුව සේ ඉතා හොබනේ ය. උතුමකු කෙරේ මහණ විය. අප යහළුවා ලද සිරි අපටත් වී නම් යෙහෙකැයි’යි සිත සිතා බුදුන් වැඳ එකත්පස්ව සිටියහ. බුදුහු ඔවුන්ගේ චරිත බලා බණ වදාරා අමා මහ නිවන් දක්වා දක්‍ෂිණ ශ්‍රී හස්තය දිගුකොට “එථ භික්ඛවෙ” යනාදීන් වදාරා සෘද්ධිමය වූ පාත්‍ර සිවුරු දී ඒ සූපණස් දෙනා මහණ කළසේක.

තෙරුවන් උපන් බැව් පතළ කිරීම

මේ යසාදි පස් පනස් යහළුවෝ ද පෙර කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදු උතුමාන කෙනකුන් දැක සසරින් ගොඩනැංගාහු ද? යත්; පෙර එක් කලෙක මේ පස්පනස් දෙන දැන් සේ ම යහළුව ඇවිදිනාහු දැරි ඇති ගැහැණියක අනාථ ව මිය වන මැදෙක වැදහොත්තිය දැක ඈ කෙරෙහි කරුණා උපදවා පින් නිසා දරසෑයක් බැඳ ඈ දවන්නාහු මිනිය දන වේලෙහි ඈ ඇගින් දදා නැඟෙන බුබුලු දැක බුබුලු ගැසුනු වේලෙහි පොතු ගැලවුනු කුකුළලයක් සේ සර්වාඞ්ගය සුදුවන සේ දැක අනිත් ලකුණු උපදවා මේ සියලු සතුන්ගේ ම ධර්මයෙකැ යි තිලකුණු මෙනෙහි කළහ. මෙසේ ඒ ජාතියෙහි මිනිය දවාපු පිනින් දිව්‍ය මනුෂ්‍ය ලෝකයෙහි සැරිසරා ඇවිද මේ බුදුන් සමයෙහි අපමණ කල් සුව සැපත් විඳ පස් පනස් යහළුවෝ එක්ව කළ පිනින් බරණැස ඉපද අප බුදුන් දැක සෘද්ධිමය වූ පාත්‍ර සිවුරු ලදින් මේ පස්පනස් දෙන ම අමාමහ නිවන් දැක සසරින් එතෙර වූහ යි දතයුතු. මෙසේ ලෝකයෙහි බුදුන් හා සමග එක් සැටක් මහ රහතන් පහළ වූ කල ස්වාමි දරුවෝ වප්මස මැදි පොහෝ දා වස් පවරා සැට මහ රහතන් ළඟට කැඳවාලා:

පරත්‍ථඤ්චත්තනො අත්‍ථං - කරොන්තා පඨවිං ඉමං,

බ්‍යාහරන්තා මනුස්සානං - ධම්මං චරථ භික්ඛවො, යි.

යනාදීන් අවවාද දී “මහණෙනි, මේ ලෝකයෙහි සත්ත්‍වයෝ බුදුරුවන් ලොව පහළ වූ බව නො දනිති. තෙපි හැම දෙදෙනෙක් එක මඟ නො යව. සැටදෙන වෙන වෙන සැට මාර්ගයෙකින් ගොසින් ගිය ගිය දෙස දුටු දුටු සත්ත්‍වයන්ට මා උපන් පරිදි කියා ලෝකාර්ථචර්‍ය්‍යා කරව. ‘සත්ත්‍වයෙනි, සර්වඥ නමැති මහ පියුමෙක් නැගී සදහම් නමැති රොන්සළා දෙමින් සිටියේ ය. සර්වඥ නමැති ආකාශයෙහි සද්ධර්ම නමැති ආකාශ ගඞ්ගාව ධාරානිපාතව වසිමින් සිටියේ ය. සර්වඥ නමැති මහානිධානයෙක් පෙනී දහම් නමැති නවරුවනින් දිලියෙමින් සිටියේ ය. සර්වඥ නමැති කප්රුකෙක් පැන නැගී දහම් නමැති මහ සැපත් දෙමින් සිටියේ ය. සර්වඥ නමැති දිවාකරයෙක් පැන නැඟී මෝහ නමැති අන්‍ධකාරයෙන් දූරීකරණය කොට සද්ධර්ම නමැති මහ රස්කඳ විහිදුවමින් සිටියේ ය’යි යනාදීන් අවවාද දී සත්ත්‍වයන් බුද්ධ දර්ශනයෙහි ලෝභ වඩව”යි වදාරා සැටදෙනා වහන්සේ සැට මාර්ගයෙකින් යවා තමන් වහන්සේ එකලාව නික්මුණු අමා ගංගාවක් සේ උරුවෙලා නම් දනව්වට වඩනාසේක් අතුරුමග එක්තරා එක් රුකක් මුල සවණක් රසින් දිලිහි දිලිහී ජම්බුනදියෙහි ජාත ස්වර්ණාඞ්කරයක් සේ ලීලාසම්පන්නව වැඩහුන් සේක.

භද්දවග්ගිය කුමරුන්ගේ පැවිද්ද

එ කල කොසොල් රට රජකුමරුවෝ තිස්දෙනෙක් උතුම් වූ රූ හා උතුම් වූ ගුණ ඇති ව සම වූ සිත් ඇති හෙයින් භද්දවග්ගියයි කියා මේ නමින් ප්‍රසිද්ධව කොසෝ රජහුගෙන් දුන් දනව්වෙක සමග ව රජකරන්නාහු කප්පාසික නම් වනයක් ඉතා රම්‍ය ය යි අසා එහි කෙළනට යන්නාහු එක්කෙනකුන්ට ප්‍රජාපතීන් නැතිහෙයින් උන් නිසා වෙශ්‍යාවක ගෙන ගියහ. රජ කුමරුවන් ක්‍රීඩාවෙන් ඇවිදිනා කල්හි ඕ ප්‍රමාදයක් දැක ඒ රාජකුමාරයන්ගේ ආභරණ සඟවාගෙන වල්වැද ගියා ය. එ වේලෙහි ඔබමොබ බලා ආභරණත් වෙශ්‍යාවත් නො දැක තිස්දෙන ම එක් ව ගෙන ඈ ගිය පද සලකුණෙන් වල් සොයා ඇවිදිනාහු ඒ රුක්මුල සවණක් රසින් දිලියෙන බුදුන් දැක වැඳ එකත්පස් ව සිට මෙසේ ආ වෙශ්‍යාවක දුටු සේක් දැ යි විචාළහ. බුදුහු කුමක් නිසා ඈ සොයවු දැ යි විචාළසේක. තමන් උයන්කෙළියට ආ නියවත් ඈ සොරා සම්පත් ගෙන ගිය නියාවත් බුදුන්ට දැන්වූහ. බුදුහු තමන් සෙවීම උතුම් ද, අනුන් සෙවීම උතුම් දැ යි විචාළසේක. ඔහු තමන් හේතුසම්පත් ඇති හෙයින් බුදුන් වදාළ පැනයෙහි අර්ථ දැන අනුන් සෙවීමට වඩා තමන් සොයාගතහෙහෝතින් ඒ සෙවිල්ල ම උතුම් වේ දැ යි කීහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ එ බැවින් තෙපි තොප සොයනුකැමති කියා නම් තෙල සේ ඉඳුව යි වදාරා ඔවුන් එකත්පස් ව උන් කල්හි අනුරූප වූ බණ වදාරා ඒ කුමාරවරුන් තිස්දෙනා ම සතර මඟ සතර ඵලයෙහි පිහිටුවා ඒහි භික්‍ෂුභාවයෙන් මහණකොට ඒ භික්‍ෂූන්ට ද ආමන්ත්‍රණය කොට:

විහරථ විවිත්තෙසු - පබ්බතෙසු වනෙසු ච,

පකාසයන්තා සද්ධම්මං - ලොකස්ස සත්තං මම - යි.

යනාදීන් අවවාද දී “මහණෙනි, තෙපි තිස්දෙන ද තිස්මාර්ගයෙක ගොසින් දුටු දුටු සත්ත්‍වයන්ට “සත්ත්වයෙනි, ලොව බුදුරුවන් දමුරුවන් සඟුරුවන් පහළ වි ය. ඒ සර්වඥ නමැති මහා මේඝය පැන නැඟී සදහම් නමැති අමා වැසි වස්වා විනෙයජන නමැති මහ ඇල්කෙත සතුටුකරවමින් සිටියේ ය. අපාය මාර්ගයෙහි අකුල් එළමින් සිටියේ ය. නිවන්මග එක එලිවෙමින් සිටියේ ය. යනාදීන් බුදුගුණ කියා ලෝවැඩ කරව”යි වදාරා ඒ තිස්දෙනා වහන්සේ තිස් මාර්ගයෙක යවූ සේක. ඒ රජකුමරුවෝ තිස්දෙන කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදුකෙනකුන් දැක නිවන්රස වැළඳූ ද? යත්; පෙර මාගේ බුදුන් තුණ්ඩිල නම් සූකර රාජ ව ඉපද බරණැස් රජුට බණ වදාරණ දා බෝසතුන් බදා අල්වාගෙන තා මරා ඇඟ මස් කම්හ යි පොලු මල ගෙන සිසාරා සිටගත් රා සොඬුන් තිස්දෙන තුණ්ඩිලෝවාද නම් වූ ඒ දේශනාව දොළොස් යොදනක් තැන් ඇසෙන සේ කරත් කරත් අත් තුබූ පොලු මල හෙළා සාධුකාර දි දී බණ අසා එදා ලත් අවවාදයෙන් සැටදහසක් හවුරුදු මුළුල්ලෙහි පන්සිල් රක්‍ෂාකොට එතැන් පටන් සදෙව් ලොව සැරිසරා ඇවිද සුව විඳ එ කල උතුම් වූ රජකුලයෙහි ඉපද ඒ පන්සිල් රක්‍ෂාකළ පිනින් අසාධාරණ වූ රූ සිරි ලදින් මොහොතක් කල් පමණ බණ ඇසූ පිනින් අප බුදුන් දැක අමා මහ නිවන් දුටහ යි දතයුතු.

තුන්බෑ ජටිල දමනය

මෙසේ ලෝකයෙහි එකානූවක් රහත් සඟුන් ඇතිවූකල මාගේ ස්වාමිදරුවෝ උරුවෙලා නම් දනව්වට වැඩිසේක. එහි නිල්තලා නම් ගංතෙර උරුවෙල කාශ්‍යප ය, නදී කාශ්‍යප ය, ගයා කාශ්‍යප ය යන ජටිලයෝ තුන්බෑ කෙනෙක් රහතුම්හයි කියා මිථ්‍යාදෘෂ්ටි ගෙන ලෝවැස්සන් වඤ්චාවෙන් පහදවා ලාභයෙහි යසසෙහි අග්‍ර ව වෙසෙති. එයින් උරුවෙල කාශ්‍යපයන්ගේ පන්සියයක් අතැවැසියෝ ය. නදී කාශ්‍යපයන්ගේ තුන්සියයක් අතැවැසියෝ ය. ගයා කාශ්‍යපයන්ගේ දෙසියයක් අතැවැසියෝ ය. මෙසේ මේ දහසක් දෙනම මිථ්‍යාදෘෂ්ටි ගෙන වෙසෙති. බුදුහු මොවුන් දහසක් දෙනා හේතුසම්පත් ඇති සේ දැක ‘අපායගතවූවන් නිවන් පුරයෙහි ලමි’යි උපන් මහා කරුණා ඇති ව එදා ඒ උරුවෙල කාශ්‍යපයන්ගේ පන්සලට වැඩ “කාශ්‍යපයෙනි! තොපගෙන් අවසර ලදුමෝ නම් තොපගේ මේ ගිනිහල් ගෙයි අද එක රෑ සැතපෙනු කැමැත්තම්හ”යි වදාළ සේක.

එ කල උරුවෙල කාශ්‍යපයෝ කියන්නාහු ‘මහණ භවත් ගෞතමයෙනි! තපස් චීවරයන්ට අවසර දීම අප සේ වූ තපස්වීවරයන්ට සුදුසු ම ය. එසේ ද වී නමුත් ගිනිහල් ගෙයි විෂඝෝර වූ නාග රාජයෙක් වෙසෙයි. ඒ අප රහත් හෙයින් අපට කිසිවකුත් නො කෙරෙයි. නො රහත් වූ තොප වැනි සොඳ රුවක් ඇති මහණ කෙනෙකුන්ට උපද්‍රවයක් කෙළේ නම් අලාභ වේදැ’යි කීහ. බුදුහු එ බස නො ඇසූ කන් ව ‘තොපගෙන් අවසර ලදුමෝ නම් මේ ගිනිහල් ගෙයි ම සැතපෙනු කැමැත්තම්හ’යි දෙවනුවත් වදාළසේක. තව ද උරුවෙල කාශ්‍යපයෝ ‘භවත් ගෞතමයෙනි! ඒ ගිනිහල් ගෙයි ලැගීමෙන් අපට කිසිවක් නැත. ඒ නාගරාජයා ඉතා දරුණු වූ විෂ ඇත්තේ ම ය’යි කීහ. එ බසට ස්වාමිදරුවෝ තුන්වනු ව වදාරණ සේක්: ‘නයින්ගේ දැඩිකම් නො කියා අද එක රැයට ගිනිහල් ගෙය අපට අවකාශ කරව’යි වදාළසේක. බුදුන්ට තුන්වන වාරයෙහි උත්තරයක් කී සතකු ඉස සත් කඩක් ව පැළෙන හෙයින් කාශ්‍යපයෝ අනිකක් කියාගත නොහී නයාගේ දැඩිකම් ම කීහ. ඉක්බිත්තෙන් බුදුහු ‘නයිගේ බල නොකියා තොපගේ ගිනිහල්ගෙය අපට අවසර දෙව’යි වදාරා උන්ගෙන් අනුදන්වා ගෙන නා විමනකට වදනා ගරුඬරාජයක්හු සේ නිර්භීත ව ඒ ගිනිහල්ගෙට වැද බුද්ධාසන පනවා පලක් බැඳ වැඩ උන්සේක.

ඉක්බිති නාගරාජතෙම ගිනිහල්ගෙයි වැඩහුන් බුදුන් දැක ‘ඇතකු කරා පැමිණි උන්මත්තකයකු සේ මාගේ භවනයට අවුදින් මා අභිමාන මැඩ තමාගේ ගෙයක සේ හිඳගත් මොහු කවරෙක්දැ’යි කිපී බුදුන්කරා විෂධූමහරණයට වන. ස්වාමිදරුවෝ ‘මම ද එක විෂ ධූමයක් හළිම් නම් එක නයකු තබා මුළු ලොව මකුළු හුයක් සේ දායෙයි. එසේ ද වුවත් මොහුගේ අභිමාන මැඩ දැමු ව මනාවේදැ’යි සිතාලා ‘මාගේ ශරීරයෙන් නික්මුනා වූ දුමින් මුළුලොව කිසි සතකුටත් මේ ගෙයි වසන මැසි මදුරු කුරු කුහුඹු ආදී සියලු සතුන්ටත් උපද්‍රවයෙක් නො වෙව’යි අධිෂ්ඨාන කොටලා පිදුරු කලවිටෙක ගිනි ලූ කලක් සේ ශ්‍රි ශරීරයෙන් දුම් කඳු හරණට පටන්ගත් සේක. ඒ දුම්කඳු නයිගේ විසඳුම් ඔබා ඔහුගේ ඡවිමාංසයට හානියක් නො කොට පෙළන්නට පටන්ගත. ඉක්බිත්තෙන් නාග රාජයා මුඬුමහණහු ගින්නෙන් දවාපියමි යි සිතා බුදුන් කරා ගිනිකඳ හරණට පටන්ගත. එ කල බුදුහු තේජෝ කසිණ සමාපත්තියට සමවැද ලා ඕහට වඩා ශතසහස්‍ර ගුණයෙන් ශ්‍රී ශරීරයෙන් ගිනිකඳු නඟන්නට පටන්ගත් සේක. එ වේලෙහි සියලු ගිනිහල් ගෙය ගිනිගෙන දිලියෙන සේනක් සේ පෙනී සියලු ආශ්‍රමය ඒකාලෝක විය. ඒ ගිනි දුටු උරුවෙල කාශ්‍යපාදි ජටිලයෝ ‘තෙලෙ නාගරාජයා හළ ගිනිකඳ ය. මහණ භවත් ගෞතමයන්ගේ රන්කඳක් වන් ශරීරය අද දා නස්සි. අප කියමන් නො ගත්හ. ඉතා ගත්නැගි කෙනෙකැ’යි කිය කියා සිටියහ.

මෙසේ ස්වාමිදරුවෝ තමන් වහන්සේගේ ගින්නෙන් නයි හික්මවා අභිමාන ශූන්‍යෙකාට ශ්‍රී හස්තය දිගුකොට, දළ මුත්හරක් හයා ගන්නා සේ සමන් මල් දමක් හයා ගන්නා සේ, නාග රාජයා හයාගෙන ඉඳුනිල් මිණි කරඬුවෙක රිදී සවඩියක් ලන්නා සේ, පාත්‍රධාතු ව ඇතුළෙහි දරණ ලා විෂ නැතිකොට හොවා ලා උදාසන උරුවෙල කාශ්‍යපයන් කැඳවා ලා “ඊයේ තොප ආනුභාව කී නාගරාජයා වැදහොත් ලෙස් බලව’යි දක්වා වදාළසේක. එ කල නාගරාජයා බුදුන්ගේ ශ්‍රි මුඛය ප්‍රේමයෙන් බල බලා ඇකිළි ඇකිළී හොත්තේ ය. ඒ ප්‍රාතිහාර්යය දැක උරුවෙල කාශ්‍යපයෝ “මේ මහණ භවත් ගෞතමයෝ අප සේ ස්වසන්තාන දමනය කොට රහත්වන සේ නො දන්නා බව මුත් නයින් දමන්නා වූ ආනුභාව ඇතියහ’යි කියා රහත්ගුණ තමන් කෙරේ ම තබා දුටහ.

තව ද බුදුහු ඔහුගේ ලය මොළොක් නො වූ සේ දැක තව වද ප්‍රාතිහාර්ය දක්වනු කැමැති ව ඔහුගේ ම පන්සල අනික් නයකුදු එසේ ම දමා පාත්‍රා ධාතුවෙහි ලා පැසේක. එ දවස ද ඒ ප්‍රාතිහාර්යය දැක උරුවෙල කාශ්‍යපයෝ ‘රහත් ගුණය මා කෙරෙහි ම පිහිටියේ ය. නයින් දමන්නා වූ සෘද්ධි භවත් ගෞතමයන් කෙරෙහි පිහිටියේ ය’යි කීය. තව ද එක් දවසෙක බුදුහු කාශ්‍යපයන්ගේ පන්සලට නුදුරු වූ එක් තෙනෙක රාත්‍රියෙහි වැඩහුන්සේක. එකල වරම් රජදරුවෝ සතරදෙන තුන්ගව් උස දිව්‍ය ශරීරයෙන් දිලිහි දිලිහී අවුදින් බුදුන්ට සතරදිග රකවල් ගෙන සිට ගත්හ. බුදුහු පාන් ඇගෑ සතරක් මැද දිලියෙන රන් දාගබක් සේ ශ්‍රිමත් ව වැඩහිඳ ඔවුන්ට බණ වදාළ සේක. ඉක්බිත්තෙන් පාන් වූ කල උරුවෙල කාශ්‍යපයෝ බුදුන් කරා අවුදින් ‘මහණ භවත් ගෞතමයෙනි! වළඳන්නට අවමැනව. ඊයේ රෑ රන්වන් රස් විහිදුම් විහිදුවා තමන් කරා අවුදින් සතර දිග සිට බණ ඇසුවෝ කවුරුදැ’යි විචාළහ. එ බසට බුදුහු කාශ්‍යපයෙනි, වරම් රජදරුවෝ සතරදෙනය’යි වදාළ සේක. ඒ ප්‍රාතිහාර්යය දැක ද උරුවෙල කාශ්‍යපයෝ ‘තොපගේ වරම් රජ දරුවෝ අප කරා නො එත් ම ය. අපගේ රහත්ගුණ තොප කරා නො එත් ම ය’යි කීහ.

තව ද එක් දවසෙක ශක්‍රයෝ දෙදෙව්ලොව දෙවියන් පිරිවරා අවුදින් බුදුන් වැඳ බණ අසා ගියහ. අනික් දවසෙක මහාබ්‍රහ්මයෝ අවුදින් බුදුන් දැක වැඳ බණ අසා ගියහ. එදා ද උරුවෙල කාශ්‍යපයෝ විචාරා දැන ‘මහණ භවත් ගෞතමයෙනි! තොප ශක්‍ර බ්‍රහ්මයන් අතිනුත් වැඳුම් ගන්නා තැනැත්තන් අප සේ රහත් නො වන්නේ නො යෙදෙ’යි කීහ. තව ද එක් දවසෙක අගු මගධ දෙරට වාසීහු පූජාසත්කාර ගෙන උරුවෙල කාශ්‍යපයන් කරා අවුත් වන්හ. උරුවෙල කාශ්‍යපයෝ එ දා සිතන්නාහු ‘මහණ භවත් ගෞතමයෝ මහත් වූ ආනුභාව ඇතියහ. මනොහර වූ රූ ඇතියහ. මේ මනුෂ්‍යයන් මධ්‍යයෙහි ආනුභාවයක් දක්වාලු නම් අප හැම තවුස් වෙස් ගත් වඳුරන් කොටත් නොතකති. භවත් ගෞතමයෝ අද මෙතැනට නො අවු නම් යෙහෙකැ‘යි සිතූහ. ස්වාමිදරුවෝ ඔහු සිතූ සිත් දැන ඔහු දමා ගන්නා තෙක් ඔහු කැමැති කැමැති දෙයක් ම කෙරෙමි යි සිතා එ දවස් උදාසන උතුරුකුරු දිව් වැඩ අහර පිළිගෙන අනවතප්ත නම් විලට වැඩ එහි දී වළඳා මෙසේ තුන් දවසකින් ඔහුගේ පූජාව නිමිකල නැවත ඒ පන්සලට ම වැඩිසේක. ඉක්බිත්තෙන් උරුවෙල කාශ්‍යපයෝ උදාසන බුදුන් කරා ගොස් ‘භවත් ගෞතමයෙනි! අද වළඳන්ට අව මැනව. ඊයේ පෙරෙවිදා අගු මගධ දෙරට වාසීහු අපට මහා පූජාවක් කොට මහා දානයක් දුන්නාහු ය. අපි එ කල තමන් සඳහන් කළම්හ. ඊයේ පෙරෙවිදා කොයි ගිය නියා දැයි කීහ. මාගේ බුදුරජාණන් වහන්සේ එ බසට සිනා පහළ කොට උරුවෙල කාශ්‍යපයෙනි! සෙසු ලෝ වැස්සන්ට කියන වඤ්චා මට නො කියව. මම තොප තබා සියලු සත්ත්‍වලෝකයෙහි කුහුඹුවා පටන් මහා බ්‍රහ්මයා දක්වා සියලු සතුන් සිතූ සිත් දනිමි. තොපගේ ම අදහස් දැනය මා නො ආයේ යි වදාළ සේක. ඒ ප්‍රාතිහාර්යය දැකද උරුවෙල කාශ්‍යපයෝ ‘භවත් ගෞතමයෝ පරසිත් දන්නා බව මුත් අප සේ රහත් මග නො දනිති’යි කීහ.

තව ද එ සමයෙහි බුදුන්ට පාංශුකූල චීවරයෙක් අපන, ඒ කල බුදුහු මේ සිවුර කොයිදී සෝදම්දෝ හෝ යි සිතා වදාළ සේක. ඒ සිත හා සමග ශක්‍රදේවේන්‍ද්‍රයා අවුදින්, නඳුන් පොකුණ සේ මනෝහර වූ පොකුණක් හා, විසිතුරු පියගැට පඞ්ක්ති හා, සිවුර ගසන්නට සුදුසු වූ පාණක් හා, සිවුර වනාලන්ට මනෝහර වූ ගලතලක් හා මවාලීය. ඒ වෙනෙහි වන දේවතාවා බුදුන් පොකුණට බස්නා කල එල්බගන්නා පරිද්දෙන් පොකුණුතෙර ගසෙක අත්තක් නමා පැලී ය. බුදුහු ඒ පොකුණෙහි දී සිවුර සෝදා වදාළසේක. ඉක්බිත්තෙන් උදාසන උරුවෙල කාශ්‍යපයෝ තමන්ගේ අසපුවෙහි ඉන්‍ද්‍රජාලයක් සේ මැවී තුබූ පොකුණ හා පාන හා ගලතල හා ගසින් නැමීගිය අක්ත දැක මහා ආශ්චර්යයවත් ව බුදුන් අතින් විචාරා ශක්‍රයා මැවූ බව අසා ‘මහණ භවත් ගෞතමයන්ගේ අසාධාරණ වූ සෘද්ධි දවසින් දවස වඩ වඩා දකුම්හ. අප සේ රහත් ගුණයක් නුදුටු විරුමෝ ම ය’යි කීහ.

තව ද එක් දවසෙක උරුවෙල කාශ්‍යපයෝ බුදුන් වැඩහුන් තැනට ගොසින් ‘භවත් ගෞතමයෙනි! වළඳන්නට අව මැනව’යි කීහ. බුදුහු ‘අපි එම්හ, තෙපි යව’යි කියා කාශ්‍යපයන් පළමුකොට යවා සරසනක් පමණ තෙන තුබූ භෝජන ශාලාවට උන් නොයන තුරු තමන්වහන්සේ අසුරුසනකින් හිමාලය වනයට වැඩ දඹ දිවට සලකුණු වූ සියක් යොදුන් උස මහ දඹගසින් දඹපාත්‍රයක් ගෙන උරුවෙල කාශ්‍යපයන්ට පළමුකොට ගොස් ශාලාවේ වැඩහුන් සේක. එකල කාශ්‍යපයෝ ‘මහණ භවත් ගෞතමයෝ එද්දෝ හෝ නො එද්දෝ හෝ”යි සිත සිතා ශාලාවට ගොස් පළමුව ගොස් වැඩහුන් බුදුන් දැක ආශ්චර්යයවත් ව ‘භවත් ගෞතමයෙනි! මට පසුව අවුත් කවර ඇසිල්ලෙක පළමුව අවුත් වැඩහුන්නේදැ’යි විචාළහ. එවිට බුදුහු වදාරණසේක් ‘කාශ්‍යපයෙනි! තොප එවාලා අපි මහදඹ අසට ගොස් දඹ ගෙන අවුදින් උනුම්හ. තව ද මේ ආශ්චර්ය නො වෙයි. තොප මෙතනට එන අතුරෙහි සිතුමෝ නම් සතිස්ලක්‍ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් වට ඇති සක්වළ ගල වටා ලක්‍ෂ ගණන් වාරයෙහි සිසාරා ඇවිදපියා මෙ තෙනට එන්ට පොහොසතුම්හ’යි වදාළ සේක. එ බසට උරුවෙල කාශ්‍යපයෝ අප සේ නිවන් මඟ දිවන සේ නොදන්නා බව මුත් නිකම් ගමන් යාමෙහි ඉතා දක්‍ෂයෝය’යි කීහ.

තව ද මෙසේ ම මොහු අද දමා ගනිමි”යි සෙට දමා ගනිමියි සිත සිතා දවසෙක එම හිමාලයෙහි අභ්‍යන්තරයෙන් අඹ ගෙන වුත් පෑ සේක. එහි ම දිව්‍ය වූ ඇඹුලගසින් ඇඹුල ගෙනවුත් පෑ සේක, තව ද දවසෙක දිව්‍ය වූ අරළු ගසින් අරළු ගෙනවුත් පෑ සේක. දවසෙක තවුතිසා භවනයට වැඩ ශක්‍රයාගේ පරසතු ගසින් මදාරා මල් ගෙනවුත් පෑ සේක. ඒ ඒ ප්‍රාතිහාර්යයෙහි උරුවෙල කාශ්‍යපයෝ ‘භවත් ගෞතමයෝ අපගේ රහත් ගුණ නැති බව මුත් ශීඝ්‍ර ගමන් දන්නා සෘද්ධි ඇත්තේය’යි කීය. තව ද එක් දවසෙක ගිනිදෙවියාට පූජාවක් කරම්හ යි සිතාලා උරුවෙල කාශ්‍යපයන්ගේ පන්සියයක් ජටිලයෝ පන්සියයක් පොරෝ ගෙන එක විට ම දර පළන්ට පටන් ගත්හ. එදා බුදුහු ‘මේ දර එකෙකුත් නො පැළේව යි අධිෂ්ඨානකොට වදාළ සේක. ඒ අධිෂ්ඨානය හා සමගම සමහරු එළා ලූ පොරෝ තුඹපත් සේ වක් ව ගිය. සමහරෙක් කිල ගැසුවා සේ දරදණ්ඩේ ම ඇලී ගිය. ඔසවා ගන් පොරෝ එළා ලිය නො හී සමහරෙක් සිතියම්කළ රූ සේ ම සිටියහ. එක දඬෙකුත් නො පැළෙයි ජටාධරයෝ මේ මහණ භවත් ගෞතමයන් කළ අධිෂ්ඨානයෙක් උවමැනවැ’යි සිතූහ. එ කල බුදුහු කාශ්‍යපයන් මුහුණ බලා ‘කිමෙක් ද කාශ්‍යපයෙනි, දර පැළුව මනාදැ යි වදාරා ‘එසේය! භවත් ගෞතමයෙනි! දර පැළුව මනාය’යි කී කල දර පැළේව යි අධිෂ්ඨාන කොට වදාළ සේක. එකෙණෙහි ඔසවා ගත් පොරෝ නො එළන තෙක් පන්සියයක් දඬු තෙමේ ම පැළී ගියේ ය. ඒ ආශ්චර්යය දැක උරුවෙල කාශ්‍යපයෝ කියන්නාහු මහණ භවත් ගෞතමයෝ අප සේ කෙලෙස් පලා රහත්වන සේ නො දන්නා බව මුත් දර පලා ප්‍රාතිහාර්යය පානා සේ ඉතා දක්‍ෂයෝම ය’යි කීහ.

තව ද එක් දවසෙක පන්සියයක් ජටිලයෝ යාගයට ගිනි දල්වන්නාහු, බුදුහු ‘ගිනි නො දැල්වෙව’යි අධිෂ්ඨාන කොට වදාළ සේක. එ කල දියෙහි ගැලූ පිදුරු කැරැල්ලෙක ගිනි නො ඇවිලෙන්නා සේ ගිනි නො දැල්වේ ම ය. දුම් කඳු නැගේ ම ය. පන්සියයක් දෙන ඇග ඩා වගුරුව වගුරුවා පත් සලා ගිනි දල්වා ගත නො හී ‘මේ භවත් ගෞමයන්ගේ අධිෂ්ඨානයෙකැ’යි සිතූහ. එ කල බුදුහු ‘කාශ්‍යපයෙනි ගිනි ඇවිලෙනු කැමැත්තෝ දැ” කියා විචාරා ‘එසේය භවත් ගෞතමයෙනි! ඇවිලෙනු කැමැත්තෙමි’ යි කී කල බුදුහු ගිනි ඇවිලෙයි අධිෂ්ඨානකොට වදාළ සේක. එ කෙනෙහි තෙල් තළ නමා ලුවා සේ ගිනි තෙමේ ම ඇවිල පැනනැංග. ඒ ප්‍රාතිහාර්යය දැක කාශ්‍යපයෝ කියන්නාහු ‘රහත්ගුණ අප කෙරේ ඇති සේ භවත් ගෞතමයන් කෙරෙහි ගිනි දල්වන්නාවූ ආනුභාව විශේෂ ඇතැ’යි කීහ.

තව ද එම දා යාගකොට නිමිකල පන්සියයක් ජටිලයෝ ගිනි නිවන්නට පටන් ගත්හ. බුදුහු ‘ගිනි නො නිවේව’යි අධිෂ්ඨානකොට වදාළ සේක. ජටිලයන් ගඟින් පැන් කළ සලත් සලත් තෙල්කළ සලන්නා සේ, ගිනි බුර බුරා නැඟේම ය. එ වේලෙහි ද බුදුහු ‘කාශ්‍යපයෙනි! ගිනි නිවමෝදැ’යි වදාරා යහපතැ යි කී කල ගිනි නිවේව යි අධිෂ්ඨානකොට වදාළ සේක. එ කෙනෙහි ගිනි තෙමේ ම අන්තර්ධාන විය. ඒ ප්‍රාතිහාර්යය දැක උරුවෙල කාශ්‍යපයෝ මේ මහණ භවත් ගෞතමයෝ ‘අප සේ රහත් ව කෙලෙස් ගිනි නිවන සේ නොදන්නා බව මුත් නිකම් ගිනි නිරායාසයෙන් නිවන සේ දත් මැයි කීහ. තව ද එක් දවසෙක පන්සියයක් ජටිලයන් ඒ නිල්තලා හොයට බැස නහා ශීතයෙන් වෙවුල වෙවුලා සිටි වේලෙහි බුදුහු පන්සියයක් ගිනිකබල් මවා පන්සියයක් ජටිලයන්ට පෙරට ඉන්‍ද්‍රජාලයක් සේ දක්වා වදාළ සේක. ඒ ආශ්චර්යය දැක උරුවෙල කාශ්‍යපයෝ ‘අනුන්ගේ ශීත දුක් නසා ගිනිකබල් තබන සේ දන්නා බව මුත් තමන්ගේ සසර දුක් නසා රහත්වන සේ නො දනිති’යි කීහ.

තව ද එක් දවසෙක අකාල මේඝයක් නහාලා ඒ ගඟ මහ වතුරෙක් දිව හැම වල් ගලාගෙන නික්මිණ. බුදුන් වැඩඋන් ලැහැබත් ගලා දිවෙයි; එ වේලෙහි ස්වාමිදරුවෝ ‘දියවතුර මාගේ ළඟට නො වැද සිසාරා රිදී පවුරක් සේ සිටී ව’යි අධිෂ්ඨාන කොට වදාළ සේක. එ කල වතුර බුදුන්ගේ සක්මන හැරලා සතර අත සතර මහපවුරක් සේ සිටගත. බුදුහු පූර්වසාගර පල්ලට බැස රුවන් වැල්ලෙහි සිටගත්තා වූ චක්‍රවර්ති රජක්හු සේ දියෙහි නොගැවි දසදිග් නොබලා සක්මන්කොට වදාළ සේක. එ වේලෙහි උරු කාශ්‍යපයෝ ‘මහණ භවත් ගෞතමයෝ වතුරෙන් ගියෝ නම් නපුරැ’යි කියා ලා ඔරුවක් පැදගෙන වහ වහා දිවගෙන ගොස් රිදී ගුහාවෙක සිටිනා සිංහපොව්වකු සේ දිය මධ්‍යයෙහි වැඩ සිට සවණක් රසින් දිලියෙන බුදුන් දැක ‘මහණ භවත් ගෞතමයෝ අප සේ රහත් ව තෘෂ්ණා වතුර රඳවන සේ නො දන්නා බව මුත් දියවතුර රැඳවීමට උන් හා සමාන කෙනෙක් නැතැ’යි කීහ.

ඒ සා වතුර මාගේ ස්වාමිදරුවන්ගේ ශ්‍රී ශරීරය තෙත් කළ නහනවා සේ ම මේ සා පෙළහරක් දැක ද උරුවෙල කාශ්‍යපයන්ගේ ලයත් තෙත්කළ නුහුනුයේ ම ය. එ කල ‘භවත් ගෞතමයෙනි! මේ ඔරුවට පැනනැංග මැනවැ යි කී බස හා සමග බුදුහු ඔරුවේ පෙණී ගොඩට වැඩ බුද්ධාසනයෙක වැඩහිඳ සිතා වදාරණ සේක්: කිමෙක් දෝ, මේ උරුවෙල කාශ්‍යපයා මෙතෙක් දා මුළුල්ලෙහි මා විසින් පානාලද දර නො පැළීමෙන් පන්සියයෙක, දර පැළීමෙන් පන්සියයෙක, ගිනි නො දැල්වීමෙන් පන්සියයෙක, ගිනි නො නිවීමෙන් පන්සියයෙක. ගිනි නිවීමෙන් පන්සියයෙක, ගිනි කබල් මැවීමෙන් පන්සියයෙක, ප්‍රථම නාග සමනයෙන, ද්විතීය නාගදමනයෙන, වරමුන්ගෙන ශක්‍රයාගෙන, බ්‍රහ්මයන් ගෙන, පරසිත් දැන්මෙන, පොකුණෙන, ගළ තලින, ශාඛායෙන, අඹයෙන, දඹායෙන, ඇඹුලෙන, අරළුයෙන. මදාරා මලින, දිය වතුරෙනැ යි තුන්දාස් පන්සිය සොළොසක් ප්‍රාතිහාර්යය දැකගත් තමා රහත්මි යි යන මිථ්‍යාදෘෂ්ටිය නො හරණේ ම ය; මොහුගේ මිථ්‍යාදෘෂ්ටි නමැති ව්‍යාධියට සෙසු පිළියමින් කම් නැත. මාගේ සද්ධර්ම නමැති දිව්‍ය ඖෂධ ය කොට මොහු ගොඩ ගනිමි යි සිතාලා මුඛ නමැති කරඬුයෙන් නික්මුනා වූ සුවඳ ගඳින් සියලු වනලැහැබ සුවඳ කෙරෙමින් මධුර ස්වර විහිදුවා ධර්මදේශනාවට පටන්ගත් සේක.

එ කෙණෙහි මාගේ ස්වාමිදරුවන් ආකාශ ගඞ්ගාව ගෙනහැර දක්වන්නා සේ, මහා නිධාන වස්තුවක් ගෙනහැර දක්වන්නා සේ, තමන්ගේ චාරිත්‍රානුකූල වූ පරිද්දෙන් දේශනා කරත් කරත් යෙළ දහසක් පමණ කෙළෙසුන් නසා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටා අන්‍ධකාරයෙක පානක් නැගුවා සේ, මොලොව මේ ය, පරලොව මේ ය, බුදුහු නම් මොහු ය, සද්ධර්මය නම් මේ ය, රහත්තු නම් වූ ය, නො රහත්තු නම් වූ යයි විශේෂයෙන් දැක බුදුන්ගේ ශ්‍රී පාදය තමන් හිස්මුදුනෙහි තබාගෙන දතිමි ස්වාමීනි! හැඳින්නෙමි ස්වාමීනි! ශුද්ධෝදන රජ්ජුරුවන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ නම් නුඹ ද? එදා මහාමායා දේවීන් කුසින් බිහිවූ සේක් මහාබ්‍රහ්මයා අත රන්දැලට වැඩිසේක් නුඹ වහන්සේ ද? කාළදේවළයන්ගේ ජටාන්තරයෙහි එ දවස් පෙනී ගියේ මේ ශ්‍රීපාදය ද? වසවත් මරහු පැරද පලාගියේ නුඹ බුදුවූ දා ද, මහපොළොව ගිගුරුයේ නුඹ සවනේ දත් වේලෙහි ද? බුදුව පළමු කොට ගැත්තවු ම දැක වදාළසේක්ද? නුඹ බුදුකෙනෙක් නොවෙයි. බුදු වෙසින් මා කරා ආ මට මෑණි කෙනෙක. පියාණ කෙනෙක. ගුරු කෙනෙක. කල්‍යාණ මිත්‍ර කෙනෙක. මෙතෙක් දවස් නුඹ බුදුවූ බව නොදත්තෙමි. නො හැඳින්නෙමි. ගැත්තවූ නො දැන කළ වරද ක්‍ෂමාකොට වදාළ මැනව ස්වාමීනි”යි යනාදීන් බුදුන්ට ස්තුති කිය කියා ‘දැන් ම ස්වාමීනි! ගැති මහණවනු කැමැත්තේ ය”යි ආරාධනා කළහ.

එ බසට බුදුහු ‘කාශ්‍යපයෙනි! තොපගේ පර්ෂදයෙහි හා අදහස් දනුව’යි වදාළ සේක. උරුවේල කාශ්‍යපයෝ එ වේලෙහි පන්සිය යක්ජටිලයන් කරා ගොසින් ‘දරුවෙනි! අපගේ ආශ්‍රම පදයෙහි මෙතෙක් දවස් වෙස්වළා හුන් සේක් ලොවුතුරා බුදුහු ය. දැන් මම දතිමි. හැඳින්නෙමි. බණ ඇසීමි. බුදුන් කෙරෙහි මහණ වෙමි. තෙපි කුමක් කරාදැ’යි විචාළහ. පන්සියයක් දෙන ම නුඹ මහණ වතොත් අපිදු මහණවම්හ යිකියා ජටාමඬුලු හා පන්සියයක් තවුස් පිටිකර ගඟ දියට දමා බුදුන් කරා දිව අවුදින් බුදුන් පිරිවරා සිටියහ. එ වේලෙහි ස්වාමිදරුවෝ පන්සියයක් දෙනාගේ චරිත බලා බණ වදාරා සෝවාන් කොට හැමදෙනම ඒහිභික්‍ෂුභාවයෙන් මහණ කළ සේක.

ගඟදියෙහි යන ජටාමඬුලු හා තවුස් පිරිකර යටි ගඟ වසන නදීකාශ්‍යප-ගයාකාශ්‍යප දෙබෑයෝ දැක පන්සියයක් ජටිලයන් හා සමග අවුදින් මෙ පවත් දැන තුමූ ද ජටාමඬුලු කපාදමා බුදුන් දැක බණ අසා සෝවාන් ව ඒහි භික්‍ෂුභාවයෙන් ම පැවිදිවූහ. මෙසේ බුදුරජාණන් වහන්සේ ගයා නම් ගං හිස ගයා නම් පර්වතය මුදුනට ගෙන ගොස් එහිදී ආදිත්‍යපර්‍ය්‍යාය නම් වූ සූත්‍ර දේශනාව කොට දහසක් දෙනා වහන්සේ ම රහත් කළ සේක.

ඒ කාශ්‍යප තුන් බෑ ආදි වූ දහසක් දෙනා වහන්සේ පෙර කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදුසස්නෙක මහණවැ සසරින් ගැලවී නිවන් දුටුසේක් ද? යත්; මෙතෙනට දෙයානුකපකින් යට උපන් ඵුස්ස නම් බුදුන් සමයෙහි මේ තුන් බෑයන් වහන්සේ ඒ බුදුන් සුළු මවුන්ට දරු ව මුල්වූ තුන්බෑ රජ කුමරු ව තුන්මසක් බුදුන් පවරා මෙම පන්සියය, තුන්සියය, දෙසියය. මහා අමාත්‍යයන් දහස හා සමග මහදන්දෙන්නාහු ඒ දහය හා සමග ම ඒ තුන් මස මුළුල්ලෙහි සිල් රක්‍ෂාකළාහු ය. ඒ පිනින් ඒකානූකපක් මුළුල්ලෙහි දිව්‍ය ලෝක මනුෂ්‍යලෝක සුවවිඳ එක්ව ම ඇවිද මෙ කල අප බුදුන්ගේ ශාසනයෙහි මහණ ව අමා මහ නිවන් දැක සසරින් ගැලවුනුසේකැ යි දතයුතු.

බිම්සර රජු කරා වැඩමවීම

ඉක්බිත්තෙන් බුදුහු ඒ උරුවෙල කාශ්‍යපාදි දහසක් රහතුන් පිරිවරා, බිම්සර රජහට දුන් ප්‍රතිඥාවෙන් මිදෙනු සඳහා දුරුතු මස මැදි පොහෝදා ප්‍රදීප සහස්‍රයෙන් දිලියෙන පහන් ඇගෑයක් සේ රජගහ නුවරට තුන්ගවු පමණ තෙන වැල්මී වැල් වැළඳි හෙයින් යෂ්ටිවන නම් තල්උයනට වැඩ එක් රුකක් මුල සවණක් රසින් දිලිහි දිලිහි දහසක් රසින් දිලියෙන හිරුමඩලක් සේ, දහසක් තරු මැද දිලියෙන සඳමඬලක් සේ, දහසක් අකුරෙන් දිලියෙන ස්වර්ණාංකුරයක් සේ, දහසක් මහරහතන් පිරිවරා වැඩහුන්සේක.

එ කල බිම්සර රජ්ජුරුවෝ බුදුන් තමන්ගෙ උයනැ වැඩහුන් පරිදි උයන්ගොව්වා අතින් අසා එක්ලක්‍ෂ විසිදහසක් අමැති බමුණු සිටු සෙනග ගෙන දිව අවුදින් සඳ සිසාරා සිටි සඳමඬුල්ල සේ ශ්‍රී මුඛය සිසාරා වටින් සරියන් පමණ තෙන රැළි දිදී නොයෙක් පෑයෙන් සිටගත් බ්‍යාමප්‍රභා මණ්ඩලය මැද දිලියෙන ශ්‍රි ශරීරය ඇති ව වැඩහුන්මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් දැක පස්වනක් ප්‍රීතීන් පිනා පියුම් ගබකට බස්නා රාජහංසයකු සේ ශ්‍රීපාදපද්මයට නැමී පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව හිඳගත්හ.

එකල උරුවෙල කාශ්‍යපයෝ නම් එ නුවර නැඟූ ධ්වජයක් සේ ඉතා ප්‍රසිද්ධයහ. ඒ කාරණයෙන් ඉන් සමහර පිරිසෙක් සිතන්නාහු ‘කිමෙක් දෝ හෝ මහණ භවත් ගෞතමයෝ උරුවෙල කාශ්‍යපයන් නිසා වෙසෙද්දෝ හෝ, උරුවෙල කාශ්‍යපයෝ මහණ භවත් ගෞතමයන් නිසා වෙසෙද්දෝ හෝ’යි සැක සිතුවාහු ය. බුදුරජාණන් වහන්සේ ඔවුන් සිතූ සිත් දැන මහතෙරුන් මුහුණ බලා:

කිමෙව දිස්වා උරුවෙලවාසි - පහාසි අග්ගිං කිසකෙ‘වදානො,

පුච්ඡාමි තං කස්සප එතමත්‍ථං - කථං පහීනං තව අග්ගිහුත්තං - යි.

යන මේ ගාථාව වදාරා ‘උරුවෙල කාශ්‍යපය, තාගේ පර්ෂදයෙහි සැක තෝ ම හරව’යි වදාළසේක.

එකෙණෙහි උරුවේල කාශ්‍යප නම් මහතෙරුන් වහන්සේ හුනස්නෙන් පැන නැගී බුදුන් කරා ගොස් ශ්‍රීපාදය වැඳ අවසර ඉල්වාගෙන චතුර්ථධ්‍යානයට සම වැද ආකාශයට මහ තලක් පමණ පැන නැගී නොයෙක් වාරයෙහි දුමා දිලිහි අන්තර්ධාන ව සක්මන්කොට නොයෙක් වාරයෙහි නොයෙක් ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා ලා, තව ද බුදුන් වැඳ මෙසේ ම දෙවරක - තුන්වරෙක - සතර වරෙක - පස්වරෙක - සවරෙක - සත්වරෙක බුදුන් වැඳ වැඳ, දෙතලෙක - තුන් තලෙක, සතර තලෙක - පස් තලෙක - ස තලෙක සත් තලෙක පමණ යයි ආකාශයට පැන නැගී පෙර සේ ම පෙළහර දක්ව දක්වා ආකාශයෙන් බැස බුදුන් වැඳ සිංහරාජයකු පෙරට වැ සිටි ඇත්පැටවකු සේ ආදරයෙන් නැඹුරු ව සිට ‘අඥාන වූ සත්ත්‍වෙයනි! මාගේ ස්වාමිදරුවන් හා මා හා සමකොට නො සිතව. බුදුහු මහමෙර සේ ඉතා උස්වූ නුවණ ඇති සේක. මම ලිප්කැටයක් සේ මිටි වූ නුවණ ඇත්තෙමි. බුදුහු මහමුහුද සේ ගැඹුරු වූ නුවණ ඇතිසේක. මම ගෝකුර පැන් සේ ස්වල්ප වූ නුවණ ඇත්තෙමි. බුදුහු මහ පොළොව සේ විපුල වූ නුවණ ඇතිසේක. මම තණපතක් සේ ලඝුවූ නුවණ ඇත්තෙමි. බුදුහු ආකාශය සේ ඉතා විශාරද වූ නුවණ ඇතිසේක. මම අංගුලි පර්වතයක් සේ ඉතා අක වූ නුවණ ඇත්තෙමි. බුදුහු සමපනස් යොදුන් හිරුමඬල වැනි සේක. මම කදෝකිමියකු වැන්නෙමි. බුදුහු උනු පනස් යොදුන් සඳමඬල වැනිසේක. මම දර්පණයක් වැන්නෙමි; බුදුහු සියක් යොදුන් උස ඇති පරසතුරුක වැනිසේක. මම කොබෝලිල පැලයක් වැන්නෙමි. බුදුහු යෙළ සියයක් යොදුන් ගරුඬරාජයා වැනි සේක. මම කැට කිරිල්ලක් වැනියෙමි. චක්‍රවර්ති රජකු හා චණ්ඩාලයකු හා සම කරන්නා සේ, බුදුන් හා මා හා සම නො කරව. මාගේ ස්වාමිදරුවන් නිසා සංසාරසාගරයෙන් ගොඩනැංගෙමි. බුදුහු මට මවු සේක. පියසේක. ගුරුසේක. ස්වාමිදරු සේක” යනාදීන් අප්‍රමාණ වූ බුදුගුණ එක්ලක්‍ෂ විසි දහසක් පමණ ඒ මහාසේනාවට ඇසෙන සේ කියා බුදුන් වැඳ එකත්පස් ව වැඩහුන්සේක.

එ වේලෙහි ඒ මහපිරිස මහතෙරුන් වහන්සේ කළ ප්‍රාතිහාර්‍ය්‍ය දැක ඉතා මහත් වූ සාධුකාර කොට කුල්මත් වූවාහු “බුදුහු මහානුභාව ඇතිසේක. මෙසේ වූ මිථ්‍යාදෘෂ්ටි ගෙන රහතුම්හ යි බොහෝ කලක් ඇවිද්දා වූ උරුවෙල කාශ්‍යපයන්ගේ දෘෂ්ටි බිඳ විශේෂයෙන් ම දමන ලදැ”යි ස්තුති කළහ. එ කල මාගේ ස්වාමි දරුවෝ ඒ කථා අසා ‘අද මේ මහ පිරිසට මේ අර්ථොත්පත්තියෙහි දී පන්සියපනස් ජාතකයට පළමුවන ජාතක දේශනා වූ මහා නාරක කාශ්‍යප ජාතකයෙන් බණ කියා මේ පර්ෂද දැන් ම සසරින් ගලවමි’යි සිතා වදාරා ‘උපාසකවරිනි! මොහු දැන් මතු දැමුයෙම් නොවෙමි. පෙර ත් මොහු දමා අපාය මුඛයෙන් ගැලවීමි’යි වදාරා මහ මේගබක් පළා සඳමඬලක් පානා සේ අතීත කථාව ගෙනහැර දක්වා වදාළ සේක. ඒ කෙසේ ද? යත්;

රුජා නම් රජ දුව

යට ගිය දවස මියුලු නුවර අඞ්ගාති නම් රජෙක් විය. ඔහුගේ රුජා නම් වූ ප්‍රිය වූ දුවක් ඇත. ඕ මනෝඥ වූ රූ ඇත්තී ය. සූක්‍ෂම වූ නුවණ ඇත්තී ය. අචල වූ ශ්‍රද්ධා ඇත්තී ය. තුදුස් ජාතියක් දක්නා ජාතිස්මරණ ඥාන ඇත්තී ය. ඒ රජ දවස් පතා පස්විසි කරඬුවක් සුවඳ මල් හා සුවඳ පළඳනා දුවට දෙයි. මැදි පොහොයෙන් පොහොයට දන් දෙනු සඳහා දහසින් බඳ පියලි ද දෙයි. තෙමේ ද දැහැමෙන් සෙමෙන් රජකෙරෙයි. මෙසේ වසන කල පොහෝ දවසෙක බණ කියන්නවුන් සොයා උයනට ගොස් මොලෝ පරලෝ නැතැ යි මිථ්‍යාදෘෂ්ටි ගෙන වසන ගුණ නම් නුගුණ ඇති නිවටකු දැක චක්‍රවර්ති රජකු අතින් ම ඉල්විය යුතු චින්තාමාණික්‍යයක් දුගියකු අතින් ඉල්වන්නා සේ බුදු කෙනකුන් අතින් විචාළයුතු වූ බණ ඒ නිවටා අතින් විචාරනුයේ ‘හිමි මෙලෝ පරලෝ පව් පින් විපාක විභාගය විශේෂයෙන් ම මට වදාළ මැනවැ යි කී ය. ඒ නිවටා රජුගේ බස් අසා කන බත වැලි උකා ලන්නකු සේ, දකුණත කපන්නකු සේ, කියනුයේ ‘මහරජ කුමක් කියව් ද? මෙලොවෙක් පරලොවෙක් නැත. පින් නැත. පින් පල නැත. පව් නැත. පව් පල නැත. සුගති නම් නැත. දුගති නම් නැත. සත්ත්‍වයා මියගිය කල ආපො දියට වැද යෙයි. තේජෝ ගිනි හා එක් ව යෙයි. වායො සුළං හා එක්ව යෙයි. පඨවි පොළොවට වැද යෙයි. ජීවිතයෙක් නම් කිම් දැ’යි යනාදීන් තමාගේ මිථ්‍යාදෘෂ්ටියෙන් බණ කියමි යි නො බණ කියා නොයෙක් ප්‍රකාරයෙන් රජහු ගිවිස්වා මිථ්‍යාදෘෂ්ටි නමැති මහ වනයේ ඇද පී ය.

එ වේලෙහි මහරජ ඔහුගේ දෘෂ්ටිය ගෙන පින් පල නැති පසු වැඳීමෙන් කමනැත්තේ වේදැ යි පළමු වැඳලා උන් රජ ඔහු කී බණෙහි අනුහසින් ඕහට අත්නගා නො ලා මතු දුටුවක් දක්නමෝ වේදැයි කියා උයනින් ගොස් ඇතුලු නුවර තමාගේ දන්හල් බිඳ හෙළවා සියලු රාජධර්මයන් හැරපියා අධිකරණ අමාත්‍යයන්ට පාවා දී පරලෝ නැති පසු මෙ ලොව ම සුව විඳිමි යි සිතා තමාගේ සඳ නම් මහපායට පැන නැගි පුර ස්ත්‍රීන් රැස්කොට පඤ්චකාම අනුභවයට පටන් ගත. මෙසේ කාමයෙන් ප්‍රමාද වූ රජුට තුදුස් දවසක් ගිය කල රුජා නම් ඒ දුවණියෝ මෙ පවත් අසා මපියාණන් ගත් දෘෂ්ටිය අද බිඳිමි යි සිතා ලා පන්සියයක් කුමරියන් හා කිරිමවුන් පිරිවරා තමන්ගේ මාලිගායෙන් බැස මහ පෙළහරින් ගොස් සඳ විමනකට වදනා සඳ දෙව් දුවක සේ පියරජහුගේ සඳ නම් මහපායට වැඳ පිය රජහු දැක වැඳ තමන්ට ලූ රන් පුටුවෙහි එකත්පස් ව උන්හ.

රජ දුවගේ රූපශ්‍රී දැක මහත් වූ ප්‍රේම ඇති ව ‘කිමෙක් ද? මාගේ ප්‍රිය දුවනියනි! තොපට සළු පළඳනා මල් සුවඳ බඩු දවස් පතා ලැබේ ද? කෙළිවළන් ලැබේ ද? සිතට සුවඳ?යි විචාළේ ය. දුවනියෝ කියන්නාහු “ස්වාමීනි මටකිසි සැපතකින් අඩුවෙක් නැත. ශක්‍රයාගේ දුවට අඩුවෙක් වී නමුත් මට කිසිවකින් අඩුවෙක් නැත. ශක්‍රයාගේ දුවට අඩුවෙක් වී නමුත් මට කිසිවකින් අඩුවෙක් නැත. බල, දන්වන්නෙක් ඇත. සෙට මැදිපොහෝදින ය. මා දැන් දෙන මසු දහස මට අද දුන මැනවැ’යි කීහ. රජ එ බස් අසා සිනාසී ‘පුතණ්ඩ! පෙර තෙපි දන් පින් කෙරෙමි යි කියා බොහෝ රන් වල දැමුව. පේවස් රකිමි යි රෑ රෑ සයින් හෙව මලා ගිය මල් දමක් සේ වැහැර ගිය, ශරීරයට බොහෝ දුක් දුනුව, පිනෙහි පල නැත් ල. පවෙහිත් පල නැත් ල, එබැවින් පුතණ්ඩ! අද පටන් පින් නිසා දුක් නො ගනුව, දන් නිසා මස්සකුත් වියදම් නොකරව, මෙ ලොව ම සුව විඳ ගනුව යි කීය.

ඒ රුජා නම් දියණියෝ නම් ස්වල්ප වූ කෙනෙක් නොවෙති. අකුශල බලයෙන් ස්ත්‍රී ව උපන් බව මුත් පෙර කප්ලක්‍ෂයක් කල් පැරුම් පුරා බුදුකෙනකුන්ට අත් පා මෙහෙකොට සුවාසූ දහසක් ධර්මස්කන්‍ධයන් දිවග ලෙලවා මහ නුවණ ඇති වෙම්ව යි පඤ්චස්ථානයකින් අග්‍රෙවම්ව යි ප්‍රාර්ථනාකොට ආ, අප බුදුන්ට සසර හෝ ව ඉපැද පිට දුන්, කකුළු ව ඉපැද දිවි පිදූ, නොයෙක් ජාති සහස්‍රෙයහි බුදුන්ට උපකාර කොට ආ, ජූන්හජාතක නානාච්ඡන්‍ද ජාතකාදි ජාති සහස්‍රෙයහි බුදුන් අතින් ද උපකාර විඳ ආ, දැන් බුදු වූ ජාතියෙහි පවා ගිරි මේඛලා නම් ඇතු දක්වා දන බිම අන්වා ලුහුබඳවාපු තේජස් ඇති, අභීරු වූ, අච්ඡම්හි වූ, අනුත්‍රාසී වූ, අපලායී වූ, මාගේ ස්වාමිදරුවාණන් ඉදිරියට දේවදත්තයා මෙහෙයනලද නාලාගිරි නමම් ඇතු දිවූ දා තමන් වහන්සේ ලොවුතුරා බුදුන් කෙරෙහි කළ ප්‍රේමයෙන් බුදුන් පසුකොට පියා ඇතු පෙරට ව සිට ඇත් මා මරා නමුත් මාගේ බුදුන් නො මරව යි කියා ජීවිත පූජා කළා වූ අපගේ ආයුෂ්මත් අනඳ මහ තෙරුන් වහන්සේ ම ය. මෙ වැනි මහාත්මයන් පවා ස්ත්‍රී ජාතියෙහි උපදවාපියන තරම් මේ අග් මුල් නැති සසරෙක් ම ය; නුවණ ඇති ජනයන් විසින් මේ සසර හසරක් නො කළමනා ම ය.

එසේ හෙයින් ඒ රුජා නම් දුවනියෝ නම් තුදුස් ජාතියක් දක්නා නුවණ ඇතියහ. එයින් කියන්නාහු ‘ස්වාමීනි මෙලෝ පරලෝ නැතැ යි නො වදාළ මැනව. ඒ ගුණ නම් නුගුණයාගේ මිථ්‍යාදෘෂ්ටිය හැර වදාළ මැනව. මෙලොවත් ඇත, පරලොවත් ඇත, මා බාල කෙල්ල ය යි නොසිතුව මැනව, පෙර විසූ කඳපිළිවෙල දනිමි. කුසල් අකුසල් දෙදෙනාගේ වෙසෙස මා කියන්නෙන් ඇසුව මැනව. පූර්වයෙහි මම පුරුෂයෙක්මි, දැන් මා ස්ත්‍රී වූයේ අකුශල බලයෙකිනි. නුඹ වැනි රජක්හට දූ වූයේ කුශලබලයෙකිනි. මම පෙර මෙතෙනට තුදුස්වන ජාතියෙහි ස්වර්ණකාර ව අසත්පුරුෂ වූ පාපමිත්‍රයන්ගේ සවවායෙන් පවෙකැ යි නො දැන එක වාරයෙක පරස්ත්‍රී සේවනයක් කෙළෙමි. ඒ අකුශලය අලුයට ගිනිපුපුරක් සේ තිබියදී ඒ ජාතියෙන් ගොස් අනික් කුශලයකින් කොසඹෑ නුවර ධනසිටක් ව ඉපද දන් පින් කොට පෙහෙවස් රැක බොහෝ පින් රැස් කෙළෙමි. ඒ පින් සමූහය පිධානයකින් වැසූ නිධානයක් සේ තිබිය දී ඒ සිටුකුලයෙන් මිස පෙරකළ පරදාරයෙි පවින් රෞරව නම් නරකයෙහි වැටී දෙ දහස් අටසිය අසූකෙළක් හවුරුදු මුළුල්ලෙහි නරක දුක් විඳ කර්ම ශේෂයෙන් අවුදින් භෙණුක නම් රට බලසම්පන්න වූ බැටළුපෝතකයෙක් ව ඉපද ගියෙමි. එ කල එළුපාලයෝ මොහු මතු බලසම්පන්න වුව මැන වැ යි කියා මාගේ සතරපය බැඳ සිටුවා ලා ස්ත්‍රී ධූර්තකර්‍ම කළා වූ අකුශල බලයෙන් මා හඬ ව හඬ වා තිරිහිපොලු ලාලා මැඩ බීජොද්ධරණය කළහ. ඒ ජාතියෙන් මිය මහවන මැදක වානර ව වඳුරු රජක් හට පුත් ව උපන්මි. මවු වැඳිරි මා උපන් වේලෙහි වඩා ගෙන ‘හිමි තා පුතු බලගැ’යි කියාලා පියවඳුරා ඔරට වඩාලුය. වඳුරු මාගේ ම අකුශලබලයෙන් සනාමි යි කියා පළමුකොට ම බීජය කට ලාගෙන වඩා කාපි ය.

තව ද එ් ජාතියෙන් මිය ස්වර්ණ නම් රට හෝ යෝනියෙහි අදනා ගොන් ව උපන්මි. එසමයෙහි ද එම අකුශල බලයෙන් පොලු ලාලා මැඩ බීජොද්ධරණය කළහ. තව ද ඒ ජාතියෙන් මිය වැද්දන්ගේ රට ගෑණුත් නො ව පිරිමිත් නොව නපුංසක පණ්ඩකව උපන්මි. තව ද ඒ ජාතියෙන් මිය ශක්‍රදේවේන්‍ද්‍රයාට පිට පිට ම තුන්ජාතියෙක අගමෙහෙසුන් ව ඉපැද සිටුව කළ බොහෝ කුශල බලයෙන් දිව සැපත් ලදිමි. තව ද ඒ ජාතියෙන් මිය ගොස් ජවන නම් දිව්‍යපුත්‍රයක්හට අගමෙහෙසුන් ව තුන්ජාතියෙක ඉපද දිව්‍යස්ත්‍රී වීමි, යින් සැම අවුදින් දැන් නුඹවහන්සේට දූ ව රජ කුලෙහි උපන්මි. මෙසේ මා එක ජාතියෙක කළ පරදාර පවින් මේ ජාතිය දක්වා පුරුෂ ව්‍යඤ්ජනයක් නො ලදිමි. මෙයින් ගොස් ශක්‍ර පුරයෙහි මහේශාක්‍ය දිව්‍යරජක් ව ඉපද ඒ පරදාර පවින් ගැලවෙමි යි සිටුකල කළ පින් බෙලෙන් දිව්‍යලෝක මනුෂ්‍යලෝකයෙහි බොහෝ වූ සැපත් ලදිමි. මේ මේ කාරණයෙන් පවෙහි විපාකත් ඇත් ම ය. පිනෙහි විපාකත් ඇත් ම ය. දැන් නුඹ මෙසේ වූ පරදාරාදි උදාර වූ පව් කොට නරකාදී වූ දුකින් මිදී කවරකලෙක නම් ඉසක් නහන සේක් දැ යි බුදු කෙනකුන් සේ නිර්මල කොට අසා ධාරණ ව ඒ රුජාවෝ පියරජහට මෙ ලෝ පරලෝ ඇති බව් කියා බණ කීවාහු ය.

රජ පරලොව ය යි කී බසට සිනාසී තපස්වීහු නම් ඒකාන්තයෙන් බොරු නො කියති. තාපසයෙනි! නො වළහා කියව, පරලොවකුත් ඇද්ද? මවු නම් පියෝ නම් ඇද්ද? පව් නම් පින් නම් ඇද්දැ?යි විචාළේ ය. බ්‍රහ්ම තාපසයෝ එබස් අසා “බොළඳ වූ රජ මෙ ලොවත් ඇත. පරලොව ත් ඇත. මවු ත් ඇත. පියොත් ඇත. සුගතියත් ඇත. දුගතියත් ඇතැ”යි කියා “තාගේ මේ බිළිඳි වූ දුව දන්නා කටයුතු පමණවත් තෝ නො දන්නෙහි ද? තෝ තිරිසනෙක්හි දැ”යි කියා කීහ.

එ රජ තව ද තමාගේ දෘෂ්ටිය නොහැර එ බසටත් සිනාසී මේ තාපසයා අද වෙහෙසමි යි සිතාලා “පරලෝ ඇති බැවින්, තෝ පරලෝ සිට ආ බැවින්, දැන් ම මසු පන්සියයක් මට ණය දීපියව. මම මතු තොපගේ පරලොවට ගියකල පොළී හා සමග මසු දහසක් දෙමි”යි කියාලා තාපසයන් දසාවට අත දිගු කළේ ය. එ බස් අදා බ්‍රහ්මතාපසයෝ “නුවණ නැති රජ! මම් තා සේ නොවෙමි. ණය දීමෙහි ඉතා නන්වැස්සෙමි. දිය යුත්තන් දනිමි. නොදියයුත්තන් දනිමි. සුඛිතයන්ට ණය දුන් කළ දියුණු දක්වා එළවාගත හැක්ක. දුඃඛිතයන්ට ණය දුන් කල උන්ගේ බැගෑපත් කම් දුටු කළ ණය එළවා ගන්නා තබා තව ද තමා අතින් දී උන් රකිනා රිසි කෙරෙයි. එසේ හෙයින් තා දුඃඛිත තැනැත්තවුට දැන් මසු පන්සියයක් දීලා මතු දහසක් කෙසේ එළවාගනිම් දැ”යි කීහ.

රජ දුඃඛිත ය යි කී බසට කිපී එසේ ද මම දුඃඛිතයෙම් ද, මාගේ මේ සත් යොදුන් මියුලු නුවර මහත් වූ සිරිසැපත් බල.මාගේ සිවුරඟ සෙනඟ බල. සොළොස් දහසක් පුරඟනන් බල. සඳ නම් පාය බල. මාගේ මේ භාණ්ඩාගාරවල උනු නොවන සැපත් බල යනාදීන් මේ ආදි තමාගේ රජසිරි සැපත් පා තපස්වී ව සිට තා බොරු කී සේ නො යෙදෙයි. අප වැනියෝත් දුඃඛිතයෝ දැ යි කියා බිනී ය. තාපසයෝ එ බස් අසා “තාගේ වූ දුඃඛිතයෙක් නම් රජ! මේ ලෝකයෙහි නැත. තාගේ මේ රජසිරි සැපත් තාගේ නො වෙයි. පින් නො කොට තබා ලා යන හෙයින් මේ හැම ම අනුන් සතුය. රුවන් කෙතකට වැද අගුරු උකාගෙන යන්නා සේ මෙසේ වූ පින්කෙත් වූ මිනිස්ලොව නමැති පින් රුවන් කෙතට වැද අකුසල් නමැති අඟුරු උකාගෙණ තා යන්නේ නිකම් ම ය. තා දැන් කරණ පවින් සංජීව-කාළ සූත්‍රාදි එක්සිය සතිස් නරකයෙහි වැටී පැසි පැසී දදා වැටි වැටී, බොහෝ කාලයක් ගොඩක් නො දැක දුක්ගන්නා කල ඒ දුක් ඉවසාගත නොහී;

සචෙ ලභෙය්‍යං සුගතිඤ්ච සම්පදං

කරොමි පුඤ්ඤං සහසා නිරන්තරං,

මුනින්‍ද රාජෙ භුවනෙ විරාජිතෙ

නිබ්බාණ නිණ්ණොව රමාමි සාසනෙ-

කිය කියා හඬා ඇවිදිනෙහි ය. එ දා ඒ නරක මැදට ගොසින් මගේ මසු දහස ඉල්වා ගන්ට යොදුන් සියයෙක සිටියවුන් ඇස් පිපිර යන ගිනි ගොඩින් ණය ඉල්වා තා කරා මා වැද්ද නො හැකි වුව. ඉදින් එදා දිම් නමුත් තාගේ කඩෙත් නැත. පිඩෙක් නැත. අකෙක් නැත. මස්සෙක් නැත. තෝ නරක දුක් ගණිත් දී මට ණය දෙයි ද? මා තා හඬන හඬින් මා ණය දෙව යි කියන හඬ තට නො ඇසෙත් වුව. තාගේ බැගෑපත් හඬ ඇසූ කල අතින් මිළ දී ත් තා ගලවා ගන්නා කරුණා උපදී. එසේ හෙයින් දැන් තට මා දුන් මසු පන්සියයයෙන් එක් මස්සෙකුත් මතු මට නො ලැබෙයි. මේ කාරණයෙන් තා සේ වූ දුඃඛිතයෙක් නැතැ යි යනාදීන් බණ කිය කියා නරක භයින් රජු වෙවුල්වා එක්සිය සතිස් නරකය රජු ඉදිරියෙහි තබා ලූවා සේ, රජු එම විට ම නරකයට වැද ගියා සේ, භයගන්වා තැතිගන්වාපු දෑ ය.

රජුගේ මිථ්‍යාදෘෂ්ටිය ගිනි දුටු ලැව් ගින්නක් සේ, සුළං දුටු වලා කඩක් සේ, දිය දුටු කුණපයක් සේ, රජු කෙරෙන් අන්තර්ධාන විය. රජු තාපසයන් වැඳ ‘හිමි නුඹ වහන්සේ මට මවු දෑ ය. පිය දෑ ය. ගුරු දෑ ය. දෙවි දෑ ය. බඹ දෑ ය’යි කිය කියා නුඹ මා ම ගලවන නිසා වැඩි දෑ ය. නරක දුකින් මා ගොඩ නැඟූ දෑ ය. මෙ වේලෙහි පටන් මෙලොව දතිමි. පරලොව දතිමි. පව් දතිමි. පින් දතිමි. කුසල් දතිමි. අකුසල් දතිමි. මවුන් දතිමි. පියන් දතිමි. මිථ්‍යදෘෂ්ටි නමැති මහ වේ බැද්දෙන් සම්‍යක්දෘෂ්ටි නමැති රජ මාවතට බැස සුවසේ ගමන් ගතිමි. මාගේ මේ රජ සැපත හැමි නොතබා පින්කෙත වපුට හරිමි යි කියා සම්‍යක් මාර්ගයෙහි ගලා හිඳු වූ ඉන්‍ද්‍ර ඛීලයක් සේ ස්ථිරව ව රජ පිහිටා ගිය. බ්‍රහ්මරාජයාණෝ ද මෙසේ ලෝකාර්ථසාධනය කොට තමන්ගේ බ්‍රහ්මලෝකයට ම ගියාහු ය.

මෙසේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මේ නාරද කාශ්‍යප ජාතකය පූර්වාපරසන්‍ධි ගළපා චතුරාර්‍ය්‍යසත්‍යය දේශනාවන් නිමවා වදාරා “උපාසක ජනයෙනි! මේ උරුවෙල කාශ්‍යපයා දැන් මතු දැමුයෙම් නො වෙමි. පෙර ත් දැමීම ම ය. ඒ අඞ්ගාති රජ නම් මේ උරුවෙල කාශ්‍යපයෝ ය, බ්‍රහ්මරාජයාණෝ නම් බුදු වූ මම් ම වේදැ” වදාළ සේක. ඒ දේශනාව කෙළවර බිම්බිසාර රජ්ජුරුවෝ එකොළොස් නහුතයක් ඇමැතියන් හා සමග සෝවාන් ඵලයෙහි පිහිටා ගියහ. නහුතයක් මනුෂ්‍යයෝ ශරණ ශීලයෙහි පිහිටා ගිය. මෙසේ බුද්ධ වචනයෙහි නහුත ශබ්දය දසදහසක් සඞ්ඛ්‍යායෙහි වැටෙන හෙයින් එදා බණ අසන්නට ආ දොළොස් නහුතයෙකැ යි කියන ලද එක්ලක්‍ෂ විසිදහසක් මනුෂ්‍යයෝ ම පළමුවන මේ ජාතක ධර්මය අසා සංසාර සාගරයෙන් ගොඩනැංගාහු ය යි දතයුතු.

ඉක්බිති බිම්බිසාර රජ්ජුරුවන් හා අමාත්‍යයෝ පෙර කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදුරජාණන් කෙනකුන් දැක චක්‍රවර්ති රජක්හට පිසූ අග්‍ර භෝජනයක් ලබන්නා සේ අග්‍ර වූ ජාතක ධර්මය ලදින් අග්‍ර නිවන් රස ලද්දාහුද? යත්; මෙයට දෙයානූවන කප ඵුස්ස නම් බුදුන්ට මල්බෑ වූ තුන් බෑ රජුන් තුන් මසක් පවරා දන් දෙන සමයෙහි මේ බිම්සර රජ්ජුරුවෝ එ සමයෙහි එක්ලක්‍ෂ විසිදහසක් පමණ අයකැමියන්ගෙන් තුමූ ඔවුන්ට නායක වූ අයකැමි ව එ තුන්මස මුළුල්ලෙහි අප්‍රමාදව දන් විධානය කරවා අනුන් දෙන දනැ යි නො සිතා තමන්ගෙන්ම දෙන දානයක් සේ ම සිතා ශ්‍රද්ධාවෙන් ම දන් විධානය කළාහු ය. ඒ කුශල මූලයෙන් ම එකානුකපක් මුළුල්ලෙහි දිව්‍යලෝක මනුෂ්‍ය ලෝකයෙහි සම්පත් විඳ මේ ජාතියට අටවන ජාතියෙහි චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයෙහි දිව්‍යරාජ ව ඉපද අනූලක්‍ෂයක් හවුරුදු දිව්‍යශ්‍රී විඳ දවස් යවා එයින් අවුදින් පිට පිට සත් වාරයෙක මෙසේ දඹදිව රාජ්‍යය කළහ. දැන් මේ ජාතියෙහි තුන් සියයක් යොදුන් අගු-මගධ දෙරටින් හා අසූ දහසක් මහ නියම්ගමින් හා සැදියා වූ මේ රජගහ නුවර සොළොස් හැවිරිදි ව ඔටුනු පැළඳ එකුන්තිස් හවුරුද්දෙහි අප මහා ගෞතම බුදුන් දැක බණ අසා එම පර්ෂද් හා සමග එක් ව කළ පිනින් එකවිට ම සෝවාන් ව එතැන් පටන් සත්තිස් හවුරුද්දක් මුළුල්ලෙහි බුදුන්ට උපාසක ව මෙසේ සසැට හවුරුද්දක් ජීවත් ව අනුන්ගේ දන් සමසිත් ව විචාරාලූ පිනින් අමාමහ නිවන් දැක සසරින් ගොඩනැංගාහු ය යි දතයුතු.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ බුදුන් වැඳ සෙට දවසට පවරා බුදුන් ප්‍රදක්‍ෂිණා කොට නුවරට ගියහ. දෙවනදා උදාසන ඇතුලු නුවර පිටි නුවර වසන අටළොස් කෙළක් පමණ මනුෂ්‍යයෝම “ඊයේ බුදු කෙනෙක් අපගේ නුවරට අවුල අපගේ රජ්ජුරුවෝ බණ ය යි කියන දෙයක් ඇසූල. නිවණැ යි කියන රසයක් බුදුහු බෙදා දුන්නුල. ඒ බුදුහු කෙසේ වූ කෙනෙක් දෝ හෝ, උන්ගේ දහම් නම් කළු දෙයක් දෝ හෝ, සුදු දෙයෙක් දෝ හෝ, නිවන් රස නම් කෙබඳු වූ රසයෙක් දෝ හෝ”යි එ නුවර ඇළල අලුයම් වේලෙහි පටන් ම සෙනඟ නික්ම බුදුන් වැඩඋන් උයනට තුන්ගවු පමණ මග සිදුරෙක් නැති විය. උයන අවසරයෙක් නැති විය. මනුෂ්‍යයෝ බුදුන්ගේ රූසිරි බල බලා ඇස් හයාගත නො හෙති. සිත් හයාගන නොහෙති. පා හයාගත නො හෙති. බුදුන් සිඟා වඩනට මගෙහි අවකාශයෙක් නැත. බුදුහු ජනයන් කෙරෙහි කරුණාවෙන් රූසිරි දිදී වැඩහිඳිනා සේක් ම ය.

සක්දෙව්රජුගේ පැමිණීම

එදා බුදුන් සුන්බත් වන හෙයින් බුදුන්ගේ පුණ්‍යානුභාවයෙන් සක්දෙව් රජහුගේ පාණ්ඩුකම්බල ශෛලාසනය රත්කොට පූ යවටක් සේ කකියා ගිනි අළලින් ශක්‍රයාගේ තුන්ගවු උස දිව්‍ය ශරීරය සූර්‍ය්‍යකාපයෙන් තැවූ ඉටිකඳක් සෙයින් කකියා පැනනැංග. එ කෙණෙහි ශක්‍රදේවේන්‍ද්‍රයා මරණභයින් වෙවුලා ආසනයෙන් බිමට පැන කිමෙක් දෝ හෝ යි පරීක්‍ෂා කරනුයේ තමා උපේක්‍ෂා වුවහොත් එදා බුදුන් සුන්බත් වෙති යි දැන තරුණ වූ අභියුක්ත වෙසක් මවාගෙන සෝළු ලීයක් අතින් ගෙන තුනුරුවන් ගුණ අරභයා ස්තුති කොට බුදුන් ඉදිරියෙහි සිටගෙන තමාගේ ශක්‍රානුභාවයෙන් තුන්ගවු පමණ තැන සිටගත් ඒ සා මහපිරිස මුහුදු දිය දෙබේ කළ ගරුඬ රාජයා සේ දෙබේ කොට පියා දකුණ‘ත ඔසවාගෙන හඬ ගා ඒ පිරිසට ඇසෙන සේ;

දසවාසො දසබලො - දසධම්මවිදූ දසහි චු‘පෙතො,

සො දස සත පරිවාරො - රාජගහං පාවිසි භගවා.

මේ ආදීන් බුදුන් ගුණ කිය කියා පිරිස් දෙබේ කොට බුදුන් පෙරට ව ලා පර්වත පලා දිවන කඟවෙසන පෝතකයකු සේ පිරිස් පළා නික්මින.

එ කල ඒ මනුෂ්‍යයෝ මේ තරුණ පුරුෂයාගේ වික්‍රම හා රූප ශ්‍රී දැක “මේ දරු ඉතා රිසියෙන කෙනෙක. ඉතා බුහුටි කෙනෙක. මෙ වැනි තරුණ පුරුෂයෙකු මෙතෙක් දවස් මෙනුවර නුදුටු විරූම්හ. තෙපි කොයි සිට ආ කෙනෙක්දැ’යි විචාරති. එ කල ශක්‍රයා;

යො ධීරො සබ්බධී දන්තො - බුද්ධො අප්පටිපුග්ගලො,

අරහං සුගතො ලොකෙ - තස්සාහං පරිචාරකො යි.

මේ ගාථාවෙන් ‘මම තුන්ලෝ මුදුන් වූ බුදුන්ගේ දක්‍ෂ වූ පක්‍ෂපාත එක් අභියුක්තයෙකිමි’යි කියයි. එ කල බුදුරජාණන් වහන්සේ ශක්‍රයා විසින් අවකාශ කොට දුන් ඒ මාර්ගයට දහසක් පමණ රහත් ගණයා පිරිවරා මුහුදු මැද රළ පෙළ දෙබේ කොට ගමන් ගත් සක්රුවනක් සේ ඒ පිරිස් මුහුද මැදින් බැලු බැලු සතුන්ගේ ඇස් නිවමින්, සිත් නිවමින්, ලය සනහමින්, රූ සිරින් දිලිහි දිලිහී වැඩ ඒ රජගහා නුවරට වන්සේක.

කලන්‍දකනිවාපය

රජ්ජුරුවෝ බුදුන් වැඳ පෙරමඟට දිව බුදුන් වඩාගෙන ගොස් බුද්ධාසන පනවා වඩාහිඳුවා බුදුපාමොක් සඟපිරිසට මහදන් දී වළඳා අන්තයෙහි එකත්පස්ව හිඳ “ස්වාමීනි, මෙතැන් පටන් ජීවිතාන්තය දක්වා තුණුරුවන් හැර වාසය කළ නො හෙමි. සිතූ යම් විටෙක ම දැක වැඳගන්නා කැමැත්තෙමි. යටිමන උයන ඉතා දුර; මේ වෙළුවනය-කලන්‍දක නිවාප ය යි කියන ලද නම් දෙකෙකින් අලඞ්කාර වූ උයන ඉතා ළඟ; සිසාරා සිට ගත් නිල්වලා රැසක් වන් හුනවනයකින් පරික්‍ෂිප්ත ව ඉතා ක්‍ෂේම වූ හෙයින් මේ වේළුවන ය යි කියනු ලැබෙයි. කලන්‍දක නම් ලෙහෙනන්ට දෙන ලද නිපාප ඇතිහෙයින් කලන්‍දක නිවාප නම් විය. ඒ කෙසේ ද? යත්;

ගිය දවස එ නුවර ම රජකරන එක් රජෙක් දවසෙක උයන් කෙළියට ගොස් සොළොස් දහසක් පුරඟනන් හා සමඟ උයන්කෙළි කෙළ රා බී මත් ව සලයට හෙව සවස නිඳන්නට පටන්ගත. පුර ස්ත්‍රීහු රජු නින්දෙන් ප්‍රමාද වූ සේ දැක අපි ද තෙල දැන් නින්දෙන් කෙළුම්හ යි නිදන වේලෙහි ගස් බිලයෙක වසන නයෙක් රජුගේ කටින් නික්මුණු සුරාපාන ගන්‍ධයෙන් කිපී බිලයෙන් පිටත් ව රජු දෂ්ට කෙරෙමි යි ළඟ ළඟා එයි; එ වේලෙහි මගුල්සල අරක්ගත් වෘක්‍ෂ දේවතාවා රජ මෙළේ නම් මාගේ උයන පාළුවෙයි සිතා ලේනවෙසක් ගෙන රජු කරා දිවගෙන අවුදින් කන්මුලට කොඳුරා රජු පුබුදුවා පූය. එ කෙණෙහි නයා ආපස්සේ නමාගත. රජ තමා ළඟ සිට යන්නා වූ නයි දැක අද මේ ලේනා නිසා මුත් මාගේ ජීවිතය නැතැයි ලේනා කෙරෙහි කළ ප්‍රේමයෙන් මාගේ මේ රාජ්‍යයෙහි ලෙහෙනක මැරූ සතෙක් ඇත් නම් දහස් ගණන් දඩ ගනිමි යි-වර්ග නසමි’යි කියා රට බෙර ලවා ඒ උයනෙහි ලෙහෙනන් හැම දෙනාට ම දවස් පතා වැටුප් තබා දින. එතැන් පටන් ඒ උයන කලන්‍දකයන්ට නිවාප දෙන හෙයින් කලන්‍දක නිවාප නමුදු විය.

වේළුවනය පිළිගැන්වීම

එසේ හෙයින් බිම්සර රජ්ජුරුවෝ ඒ උයන ඉතා රම්‍ය ය යි කියා පිළිගත මැනවැ යි ආරාධනා කොට ඒ ආරාම ය නන්‍දනොද්‍යානය සේ සරහා උයන පවන් රජගෙට ධජ පුන්කලස් අහස් වියන් ලදපස්මලින් සදා, බිම සුදු වැල්ලෙන් තවරා, බුදුන් වඩාගෙන ගොස් ස්වර්ණහිංකාරයෙන් බුදුන් ශ්‍රී හස්තයෙහි පැන් වත්කොට වේළුවනාරාමය පිළිගැන්වූහ. එකෙණෙහි බුදුසස්න මුල් බටහ යි සතුටුව රජුගේ අග්‍ර වූ මර වැඩි දෙක තමා ඉස්මුදුනෙහි තබාලූ වේලෙහි මාගේ ස්වාමි මට ම හිතසේකැ යි සන්තෝෂයෙන් සාධුකාර දෙන පක්‍ෂපාත වූ මිද්ධියක සේ මාගේ ස්වාමිදරුවන්ගේ පළමුවන වූ අග්‍රවිහාරය මා මුදුනෙන් පිළිගතිමි යි ඉතා සතුටු ව මීකත් ගුගුරා පැනනැගිය.

දඹදිව් තෙලෙහි පොළොව ගුගුරුවා පිළිගත්තා වූ විහාරයෙක්, මේ වේළුවනාරාමය හා මච්ඡිකාසණ්ඩ නම් නුවර චිත්‍ර නම් සිටාණන් [83]සුධර්ම නම් මහා ස්ථවිරයන්ට පිළිගැන්වූ අම්බාටක නම් උද්‍යානය පිළිගැන්වූ දවස් හා මේ දවස් විනා පොළොව ගුගුරුවා පිළිගත්තා වූ විහාරයෙක් අනික් තෙනෙක නැත් ම ය. තවද ශ්‍රී ලඞ්කාද්වීපයෙහි මහමෙවුනා උයන හැර පොළොව ගුගුරුවා පිළිගත් අනික් විහාරයෙක් නැත්ම ය. මෙසේ බුදුහු රජගහා නුවර වැඩි දෙවන දා වේළුවනාරාමය පිළිගෙන විනෙය ජනයන් බල බලා වසනසේක.

කීයේ මැනෝ,

අකීලනෙ වෙළුවනෙ විහාරෙ

තථාගතො තත්‍ථ මනොභිරාමෙ

නානා විහාරෙහි විහාසි ධීරො

වෙනෙය්‍ය කාලං සමුදික්ඛමානො - යි.

ඥාති ප්‍රේතයන්ගේ පැමිණීම

බුදුන් වේළුවනාරාමය පිළිගෙන වසන කල තුන් බුද්ධාන්තරයක් බත් පැන් නො ලත් සුවාසූදහසක් ප්‍රේතයෝ අවුදින් බුදුන් දැක බත් පැන් ලදින් සුඛිත වූහ. හේ කෙසේ ද? යත්;

පෙර දෙයානුවන කප යට කී ඵුස්ස නම් බුදුන්ට තුන්බෑ රජුන් තුන්මසක් පවරා දන් දෙන සමයෙහි ඒ දන් පිසුවෝ සුවාසූදහසක් සත්ත්‍වයෝ ය. ඔහු දන් පිසන කල ආදි මුඛයෙහි දවස් භය ඇති ව දන් පිසුවාහු ය. පසුවත් පසුවත් දරුවන් අඬන වේලෙහි බාල දරුවන්ට දුන්නෙන් වරද නැතැ යි කිය කියා අග්‍ර භෝජනය දරුවන් කවති. වළඳවා ඉතිරි පසය වරද නැතැයි කිය කියා තුමූ ද කති. මෙසේ කකා පසුව පසුව සරු නැති ව දුක් ගන්නන් කෑයෙන් වරද නැතැ යි කිය කියා දන්වැට අග්‍ර භෝජනයක් කෑවාහු ය. ඒ දන්වැට කෑ පවින් ඒ සුවාසූ දහසක් දන් පිසූ පරිවාර ජනයෝ ඒකානු කපක් මුළුල්ලෙහි නරක දුක් විඳ මේ භද්‍රකල්පයෙහි ප්‍රේත ලෝකයෙහි ඉපද බත් නො ලදින් පැන් නො ලදින් ඇවිදිනාහු, පළමුව බුදුවූ කකුසඳ නම් බුදුන් බුදුවූ දා මොහොතක් කල් බුද්ධානුභාවයෙන් සා දුකින් මිදී නැවත ක්‍ෂුධාව වැද ගත් වේලෙහි ‘මේ උතුමා බුදු වූ පමණෙකින් මොහොතක් කල් අප සා දුක් නිවීය. ඔහු කරා ගියමෝ නම් බත් ලැබ ප්‍රේතදුකින් මිදෙම්හ’යි කියා සුවාසූදහසක් ප්‍රේතයෝ බෝමැඩට දිව ගොසින් පෙනී “ස්වාමීනි! මේ කප අටගත් දා පටන් බත් උළක් ඇසිනුත් නුදුටුම්හ. පැන් බින්දුවකුත් නො ලදුම්හ. සා පිපාසයෙන් වෙවුලම්හ. අපගේ සා දුක් නිවුව මැනවැ”යි යාච්ඤා කළහ.

එ කල බුදුහු ඔවුන්ට බතක් තමන් වහන්සේ සමයෙහි නොලැබෙන සේ දැක, කළ කම් බොහෝ සේ දැක, උපන් මහා කරුණා ඇති ව “ප්‍රේතයෙනි! තොපට දැන් බතෙක් නොලැබෙයි” කීම් නම් ගින්නට ගිනි දැමුවා සේ මොවුන්ට දුක් බෝම ය යි සිතා ‘මතු කෝණාගමන නම් බුදු කෙනෙක් උපදිති. උන් කරා යව, උන් අතින් විචාරව, ඔහු කියන්නාහු වේ දැ’යි වදාළ සේක. එකල ප්‍රේතයෝ ඒ බුද්ධාන්තරය මුළුල්ලෙහි බත් නොලදින් පසුව ඒ කෝණාගමන නම් බුදුන් බුදු වූ දා ද එ සෙයින් ම ගොස් බත් ඉල්වූවාහු ය. උන්වහන්සේ ද ‘මතු කාශ්‍යප නම් බුදු කෙනෙක් උපදිති. ඔවුන් කරා ගොස් විචාරව’යි වදාළ සේක.

ඒ දෙවන බුද්ධාන්තරයෙහි ද බත් නො ලදින් කාශ්‍යප නම් බුදුන් බුදු වූ දා ද එසෙයින් ම ගොස් දැක බතට යාච්ඤා කළහ. ඔබ වදාරණසේක්: දහසක් අවුරුද්දෙන් අඟලක් වඩනා පොළොව මෙයින් ආකාශයට සත් ගව්වක් වැඩී ගිය කල මතු ගෞතම නම් බුදු කෙනෙක් උපදිති. උන් සමයෙහි තොපගේ නෑ බිම්සර නම් රජෙක් රජගහා නම් නුවරෙක දී ඒ ගෞතම බුදුන්ට දන් දෙයි.

ප්‍රේතයෝ ඒ එන බුද්ධාන්තරයෙහි බත් ලැබෙයි. වදාළ බස් අසා සෙට ලබන සිතක් සේ සිතා සතුටු ව ඒ බුදුහු අද බුදුවෙති යි සෙට බුදුවෙති යි කිය කියා මේඝ කාලය ප්‍රාර්ථනා කරන සැල් ගොවිනේ සේ බුදුන් බුදුවනකල් බල බලා වැස බුදුන් බුදු වූ දා අවුදින් පෙනී රජගහනුවරට කවර දා වඩනා සේක් දෝ හෝ යි පරීක්‍ෂා කරන්නාහු ඒ රජ්ජුරුවන් බුදුන්ට පළමුවන දානය දුන් දා සමාදන් විය නොහී වේළුවනය බුදුන්ට පිළිගැන්වූ දා රෑ මධ්‍යමරාත්‍රියෙහි ඒ සුවාසූ දහසක් ප්‍රේතයෝ බඩපොතු අල්වා සෙලුව සිඹ මහ හඬින් ගුගුරා රජුට හැම දෙන ම පෙනී ගියහ.

රජ්ජුරුවෝ උදාසනම බුදුන්කරා අවුදින් ‘ස්වාමීනි! ඊයේ රෑ මෙසේ වූ භයානක වූ සත්ත්‍වසමූහයක් මහ හඬින් හඬන්නා දිටීවි”යි කීහ. බුදුහු වදාරණසේක්: මහරජ ඔහු පෙර තාගේ නෑ සමූහයෙක. ඔහු දැන් ප්‍රේත යෝනියෙහි උපන්හ’යි උන් පෙර කළ පව් හා, නරකවල විඳි දුක් ගා, මේ බුද්ධාන්තරයෙහි බත් නොලත් බව හා, පෙර තුන් බුදුන් කී ස්වරූප හා, මේ පූර්ව කථාව දක්වාලා ‘තාගේ ප්‍රේත නෑයන්ව අද පින්පෙත් දෙව’යි වදාළසේක.

එදා බිම්සර රජ්ජුරුවෝ ඒ ප්‍රේතයන් නමට බුදුන් ප්‍රධාන වූ දහසක් මහ රහතන්ට මහ දන් දුන්හ. එදා ප්‍රේතයෝ සුවාසූදහසක් දෙන තුන් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි බත් උළක් නො ගෑවුනා වූ කුස් පුරා දිව්‍යභෝජන ලදින් පිනා එදා රෑ ගොස් රජ්ජුරුවන්ට පිළි නැති ව පෙනුනාහ. රජ්ජුරුවෝ අනිද්දා උදාසන බුදුන් කරා ගොස් ‘ස්වාමීනි ප්‍රේතයෝ හැමදෙන ම බත් ලද්දාහු නග්නයෙන් රෑ සිටියා දිටිමි’යි කීහ. බුදුහු ‘මහරජ ප්‍රේතයන් ලබන්නේ දුන් දෙයෙක. නුදුන් දෙයක් නො ලැබෙත් ම ය. ඔවුන් නමට වස්ත්‍ර දන් දෙව යි වදාළසේක.

එදා රජ්ජුරුවෝ හැමදෙනා වහන්සේට ම පිළි සමගින් දන් දී පින්පෙත් දුන්හ. එවේලෙහි ප්‍රේතයෝ දිව්‍ය වූ වස්ත්‍ර හා දිව්‍ය වූ සුවඳ විලවුන් හා දිව්‍ය වූ සම්පත් ලදින් සතුටු ව එදා රෑ රජ්ජුරුවන්ට දිව්‍යශරීරයෙන් පෙනී පසු දා බුදුන්ට ද එ සෙයින් ම පෙනුනාහ. බුදුහු සුවාසූදහසක් ඒ ප්‍රේතයන් ප්‍රේතලෝකයෙන් ගලවා තිරොකුඩ්ඪ සූත්‍ර දේශනාව කොට ඒ සුවාසූ දහසක් දෙනා ම අමා මහ නිවන් දක්වා සසරින් ගලවා වදාළසේක. මොහු හැමදෙන බුදුන්සතු දෙය කෑ පවින් මේ සා ප්‍රේතදුක් ගත්හ. දන් පිසූ පිිනින් සසරින් ගොඩනැගී අමා මහ නිවන් දුටුවාහු ය යි දැන නුවණැත්තා වූ සත්පුරුෂ ජනයන් විසින් පව් පින් දෙදෙනාගේ විභාගය මෙසේ දැන විසිය යුතු.

අගසවු දෙනම හමුවීම

තව ද ඒ රජගහ නුවරට නුදුරු තෙන කෝලිතය උපතිස්සය යි බමුණුගම් දෙකෙක් විය. ඒ දෙගම සහමුත්තක් පරම්පරායෙහි ඔවුනොවුන්ට මිත්‍ර ව ආවා වූ පින්වත් බ්‍රාහ්මණසාර දෙකුලයෙක කෝලිත-උපතිස්ස නම් වූ පින්වත් බ්‍රාහ්මණ කුමාරවරු දෙදෙනෙක් ඇත්තාහු ය. ඒ කෝලිත නම් කුමාරයන් උයන්කෙළියට දිය කෙළියට නික්මෙන වේලෙහි අසුන් යෙදූ රථ පන්සියයෙක් කැටුව ම යෙයි. උපතිස්ස නම් කුමාරයන් හා සමග පන් සියයක් පමණ රන්සිවි ගෙවල් යෙයි. දෙදෙන ම පන්සියයක් පන්සියයක් පිරිවර ඇත්තාහු ය. දෙදෙන ම නොයෙක් ශිල්පයෙහි දක්‍ෂයෝ ය, කෙළිනලු බලන කන දෙදෙන ම සමග ම හිඳ බලන්නාහු ය. එකවිට ම සන්තෝෂ වුවමනා ස්ථානයෙහි සන්තෝෂ වෙත්ම ය. ස්තුති කළමනා විට ම ස්තුති කෙරෙති. ප්‍රසාද දුනමනා කාලයෙහි එකවිට ම ප්‍රසාදත් දෙති.

මෙසේ මිත්‍ර ව වාසයකොට දෙදෙනාගේ ම නුවණ පිරී හුන් කල දවසෙක ක්‍රීඩාමණ්ඩලයෙහි හිඳ දෙදෙනෙ ම සංසාරයෙහි කලකිරී සන්තෝෂ නැති ව ‘මේ කෙළි නම් සසරින් ගැලවී යන උපායෙක් නොවෙයි. මෙතැන් පටන් කෙළිනළු නො සොයා නිවන් සොයම්හ’යි මන්ත්‍රණය කොට කවුරුන් ගුරුකොට තපස් කරමෝ දැ යි පරීක්‍ෂා කොට එ සමයෙහි රජගහා නුවර ලාභයෙන් යසසින් අග්‍රව වසන සඤ්ජය නම් වූ පරිබ්‍රාජකයන්ගේ ස්වරූප අසා පන්සියයක් රථ හා පන්සියයක් සිවිගෙවල් හා පන්සියයක් දෙනා අත ගමට යවා පන්සියයක් අතැවැස්සන් හැරගෙන ගොස් ඒ සඤ්ජය නම් පරිබ්‍රාජකයන් කෙරේ තවුස් වෙස් ගෙන කීප දවසක් උන් කෙරේ වැස තමන් මහනුවණැ‘ති හෙයින් උන්ගේ සමයෙහි නිවන් මගෙක් නැතැ යි දැන මුළු දඹදිව ඇවිද නිවන් මඟ පානා තරම් ගුරු කෙනෙකුන් සොයන්නාහු දෙදෙන ම එක්ව ගොස් යම් යම් කෙනෙකුන් අතින් පැන විචාරති. ඔවුන් විචාළ පැන කියහෙන්නෝ නැත. සෙසු ඇමදෙන විචාළ පැන මොහු දෙදෙන කියත්ම ය. මෙසේ දඹදිව තෙසැට දහසක් රාජධානිවල ඇවිද නිවන් මඟ පානා තරම් ගුරු කෙනකුන් නොලදින් නැවත රජගහ නුවරට අවුදින් ‘අප දෙදෙනා අතුරෙන් යමෙක් පළමුව නිවන් මග දුටුවෝ නම් ඔවුනොවුන්ට කියම්හ’යි මන්ත්‍රණයකොට වාසය කෙරෙති. එකල මාගේ ස්වාමිදරුවෝ පෙර කී ක්‍රමයෙන් වැඩ වේළුවනාරාමයෙහි වසන සේක. පස්වග මහණුන් වහන්සේ අතුරෙහි අස්සජි නම් මහතෙරුන් වහන්සේ මුළු දඹදිව ඇවිද බුදුන් උපන් පරිදි බොහෝ සතුන්ට කියා ලෝවැඩ කොට නැවත බුදුන් කරා රජගහ නුවරට වැඩ වේළුවනාරාමයෙහි දී බුදුන් දැක එදා රෑ එහි ලැග අනික් දා උදාසන නුවරට වැඩ ගෙපිළිවෙළින් පිඬු සිඟන සේක.

එ කල පෙර කී දෙයාළුවන් අතුරෙන් උපතිස්ස නම් පරිබ්‍රාජකයෝ උන්වහන්සේ සිඟන්නා දැක ‘මේ උපසමය ඉතා සන්හුන් වෙසෙකැ’යි දැක පැහැද පසුපස්සේ ගොස් ඔබ වළඳන වේලෙහි තමන්ගේ පරිබ්‍රාජක පුටුව පිට වාඩිහිඳුවා වළඳා අන්තයෙහි කෙණ්ඩිකායෙන් පැන් අතට ගෙන ලා මෙසේ පළමුකොට ඇදුරුවතින් ආදර දක්වා ‘ස්වාමීනි නුඹගේ ඉන්‍ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ. නුඹගේ කායවාක් සමාචාරයෝ ද මට ප්‍රියයහ. එසේ දහයින් නුඹ නිවන්මග දුටහ යි සිතමි. හිමි! නුඹගේ ගුරු කවුරුදැ’යි විචාළහ. එ බසට තෙරුන් වහන්සේ ‘භවත! මාගේ ගුරු සව්නේ ගෙවා දත් බුදුරජය’යි වදාළ සේක. පරිබ්‍රාජකයෝ කියන්නාහු ‘ස්වාමීනි! එසේ වී නම් නුඹගේ ගුරුන් වදාළෙන් අවවාද පදයක් මට ද වදාළ මැනවැ’යි කීහ. අස්සජි මහතෙරුන් වහන්සේ මේ පරිබ්‍රාජකවරු නම් බුදුසස්නට ප්‍රතිපක්‍ෂයහ. එසේ හෙයින් මෝහට බුදුන්ගේ ධර්මය ගරු බව හඟවා භය ගන්වමි’යි සිතාලා ‘මම අභිනව යෙමි භවත! දහම් ඉතා ගරු ය. විශේෂයෙන් කියා තට හඟවාලීම් මට පිළිවන්දැයි වදාළසේක. උපතිස්ස පරිබ්‍රාජකයෝ එ බසට කියන්නාහු ස්වාමීනි, මට බොහෝකොට වදාරා දුක් නො ගත මැනව. එක නයකින් සංක්‍ෂේප කොට කිව මැනව. නුඹවහන්සේ එක නයින් කීවා මම සියක් දහසක් දසදහසක් ලක්‍ෂයක් නයින් විස්තරයෙන් සිතාගන්නා නුවණ ඇතියෙමි යි කීහ. එකල මහ තෙරුන් වහන්සේ:-

යෙ ධම්මා හෙතුපභවා - තෙසං හෙතුං තථාගතො, ආහ

තෙසඤ්ච යො නිරොධො - එවං වාදී මහාසමණො - යි.

යනාදීන් චතුෂ්පදික මේ ගථාවෙන් බණ වදාළසේක. එකල උපතිස්ස නම් පරිබ්‍රාජකයෝ ඒ එක ගාථාවෙන් පළමුවන දෙපදයෙහි සොළොස්වන අක්‍ෂරයට වදාළ වේලෙහි ශතසහස්‍ර නයින් සද්ධර්මය කරතලාමලකයක් සේ දැන සෝවාන් පෙලෙහි පිහිටා ගියහ. අන්ත දෙපදය සෝවාන් ව සිට අසා සාධුකාර දුන්හ.

මේ ගාථාවගේ කෙළවර ස්වාමීනි, මම නුඹවහන්සේගේ ගුණත් දැනී ගිය බුදුන්ගේ ගුණත් දැනී ගිය සියලු සද්ධර්ම සාගරයත් පෙනී ගිය. එතෙකින් මට බණ වදාරා ආයාස නොගත මැනව. මාගේ බුදුහු දැන් කොයි දැ යි විචාරා ඒ වේළුවනාරාමයෙහි වැඩහුන් සේකැ යි අසා තෙරුන් වහන්සේ පසඟ පිහිටුවා වැඳලා සමුගෙන කෝලිත පරිබ්‍රාජකයන් කරා ගොස් නිර්වාණ ධර්මය දුටුයෙම් වේ දැයි කියා ලා බුදුන් උපන් පවත් කීහ. එ බසට කෝලිත පරිබ්‍රාජකයෝ බුදුහු ය යි යන බස හා නිවණැ යි කී බසට ලොමු දැහැ ගන්වා සතුටු ව තොප ඇසූ බණ මටත් කියව යි කීහ. උපතිස්සයෝ තමන් ඇසූ ගාථාව නො වරදවා කීය. කෝලිත පරිබ්‍රාජකයෝ ඒ ගාථාව අසා නිමි වේලෙහි අන්තෘක්‍ෂරය හා සමග සෝවාන් ව බුදුහු දැන් කොයිදැ යි විචාරා වේළුවනයෙහි යයි අසා ‘අපගේ ගුරුන් සඤ්ජය පරිබ්‍රාජකයන්ටත් අප ලද නිවන් රස දෙම්හ’යි ඔවුන්ගේ ආරාමයට ගොස් බුදුන් උපන් පරිදි කියා ‘අපි දැන් බුදුන් කෙරේ මහණවන්ට යම්හ, අප හා සමඟ අවුදින් බුදුන් කෙරේ මහණ වුව මැනවැ’යි කැඳවූහ. සඤ්ජය පරිබ්‍රාජකයෝ, ‘පෙර බොහෝ කලක් මම් බොහෝ දෙනාට ගුරුකම්කොට ඇවිද්දෙමි. පසුව දැන් භවත් ගෞතමයන් කරා ගොස් උන් කෙරේ මහණ ව උන්ට අතැවැසි වීම නම් සැළක් ව පසු ව සාළුවක් වූවා වැන්නෙමි. එසේ හෙයින් මම ඔවුන් කරා නො යෙමි. මෙලොව අඥානයෝ බෙහෙව, නුවණැතියෝ මදහ, අඥානයෝ අඥාන වූ මා කරා එති. නුවණැතියෝ නුවණැත්තාහු වූ භවත් ගෞතමයන් කරා යෙති, එසේ හෙයින් මාගේ පර්ෂද් බොහෝ වෙති. මම නොයෙමි’යි කියා නො ගිවිස්සාහුය.

ඉක්බිත්තෙන් කෝලිත - උපතිස්ස දෙදෙන ආචාර්‍ය්‍යයන් නොයෙක් ලෙස කැඳවා නො ගිවිස්නා හෙයින් ‘බුදුන් කරා අපි යම්හ’යි කියා නික්මුනෝ ය. ඒ කෙණෙහි සඤ්ජය පරිබ්‍රාජකයන්ගේ පන්සියයක් පර්ෂත් එකකුත් නොරදා ආරාමය සිස් කොට දෙදෙනා හා කැටිව නික්මුණාහු ය. සඤ්ජය පරිබ්‍රාජකයෝ සිස් වූ ආරාමය දැක ලෙන් පැන නැඟි ශෝක හැල්ලෙන් හුණු ලේ හෑල්ලක් නඟා පීහ. එ වේලෙහි ඒ පන්සියයක් පර්ෂදින් දෙසිය පනස් දෙනෙක් ගුරුන් කෙරෙහි කරුණායෙන් රඳාපීහ. අනික් දෙසිය පනස් දෙනා හැරගෙන දෙදෙන ම වේළුවනාරාමයට නික්මුණාහ.

එදා බුදුරජාණන් වහන්සේ සිවුවණක් මහ පිරිස් පිරිවරා බුද්ධාසන මුදුනෙහි රන්කඳක් සේ දිලිහි දිලිහී වැඩහිඳ බණවදාරණසේක් දුර එන්නාවූ ඒ කෝලිත - උපතිස්ස දෙයාළුවන් දැක බණ අසන්නාවූ සඟපිරිසට ආමන්ත්‍රණය කොට මහණෙනි මා කරා එන තෙල පරිබ්‍රාජකවරු දෙදෙන මාගේ ශාසනය නමැති දිව්‍යරථය අලඞ්කාර කරන්නාවූ දිව්‍යචක්‍ර යුග්මයක්සේ මාගේ අගසවු දෙදෙන බුදුන් කරා අවුදින් පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව හිඳ ස්වාමීනි! නුඹ වහන්සේගේ ශාසනයෙහි පැවිද්ද ලබමෝ දැ’යි විචාළහ. එකෙණෙහි බුදුහු දක්‍ෂිණ ශ්‍රි හස්තය දිගුකොට:- “එථ භික්ඛවෙ ස්වාක්ඛාතො ධම්මො, චරථ බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය”යි වදාළසේක. එ කෙණෙහි හැම දෙන ම සෘද්ධිමය වූ පාත්‍රා සිවුරු ලදින් වර්ෂ ශතයක් ගුණධර්ම පිරූ මහතෙර පෙළක් සේ වැඩහුන් සේක.

ඉක්බිත්තෙන් බුදුහු ධර්මදේශනා කළසේක. අගසවු දෙදෙනා වහන්සේ හැර අවශේෂ වූ දෙසියපනස් දෙනා වහන්සේම රහත් වූ සේක. මුගලන් මහතෙරුන් වහන්සේ මහණ වූ සත් දවසින් මගධරට කල්ලවාල නම් ගමදී බුදුන් විසින් දුන්නාවූ ධාතුකර්මස්ථානය අසා සෙදගැමි-අනගැමි-අරහත් යන තුන් මාර්ගඵලයට පැමිණ ශ්‍රාවක පාරමිතා ඥාන ය මස්තකප්‍රාප්ත කළසේක. සැරියුත් මහ තෙරුන් වහන්සේ ද මහණ වූ පසළොස් දවසින් බුදුන් හා සමග එම රජගහ නුවරට නුදුරු තෙන හුරුකළ නම් ලෙන වසනසේක් දිඝනඛ නම් පරිබ්‍රාජකයන් එම ධම්සෙනෙවි සාමීන්ගේ ම බෑණනුවන්ට වේදනා පරිග්‍රහ නම් සූත්‍ර දේශනාව බුදුන් දේශනා කරන දා ඒ දේසනාව අසා අනිකක්හට ලනබතක් උදුරාගෙන කන්නා සේ තමන් වහන්සේ ද සෙදගැමි අනාගැමි අරහත් යන තුන් මාර්ගඵලයට පැමිණ අග්‍ර ශ්‍රාවක ඥානයෙහි මුදුන් පැමිණිසේක.

ඉක්බිත්තෙන් එම දා සවස වේළුවනාරාමයෙහි දී ශ්‍රාවක ගනයා රැස්කොට සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේට අගසවු තනතුරු දි එම දා නවම් මස මැදිපොහොයෙහි ඵුස්ස නම් යෝගයෙන් මෙසේ මැදිපොහොයක් හා හැම සව්වන් නො කැඳවා රැස්වීමක් හා හැම සව්වන් ඒහි භික්‍ෂුභාවයෙන් ම පැවිදි වූ බවක් හා හැම සව්වන් රහත් වූ බවක් හා මෙසේ වූ චතුරඞ්ගයෙන් යුක්ත ව වැඩහිඳ එක්දහස් දෙසියපනස් මහරහතන් හා සමග අනන්තාපරියන්ත වූ රජ පිරිස් පළඳනා ලද මුක්තාහාරයක් බඳු වූ අනන්තාපරියන්ත වූ බුදුන් විසින් මුඛාලඞ්කාර කරන ලද:

සබ්බපාපස්ස අකරණං - කුසලස්ස උපසම්පද,

සචිත්ත පරියොදපනං - එතං බුද්ධාන සාසනං.

යන මේ ගාථාරත්නයෙන් අලඞ්කාර කොට පාමොක් දෙසා වදාළ සේක.

එතැන් පටන් ඒ සැරියුත් මුගලන් අගසවු දෙදෙනාවහන්සේ බුදුසසුන් නමැති ආකාශය හොබවා ඇවිදිනා හිරු සඳු දෙදෙනා සේ බුදුන්ට අනුව බුදුසසුන් හොබවා වදාළ සේක.

මේ අගසවු දෙදෙනා වහන්සේ කෙසේ වූ පින් කොට මෙසේ වූ බුදුකෙනෙකුන් වහන්සේට අග්‍රශ්‍රාවක වූ සේක් ද? යත්;

මෙයට එකාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයකින් යට අනෝමදස්සි නම් බුදුන් සමයෙහි සැරියුත් ස්වාමි සරද නම් තාපස ව සුසැත්තෑ දහසක් තපස්වීන් පිරිවරා හිමාලය වනයෙහි පන්සලෙක වැස ලක්‍ෂයක් රහතන් හා සමග තමන් වහන්සේගේ පන්සලට වැඩි බුදුන් දැක පැහැද වන මුල් වන ඵලාහාර වළඳවා ලක්‍ෂයක් මල් ආසන පනවා සතර ගව්වක් උස මලස්නෙක බුදුන් වඩා හිඳුවා තුන් ගවු උස මලසුන්වල අගසවු දෙදෙනා වහන්සේ වඩාහිඳුවා ගවු දෙගවු උස මලසුන්වල සෙසු ලක්‍ෂයක් රහතන් වඩා හිඳුවා බුදුන් සිරසට මහත් මල්කුඩයක් මවා ඒ කුඩය අතින් අල්වාගෙන සත්දවසක් නිරාහාරයෙන් බුද්ධාලම්භන ප්‍රීතින් සිට ධ්‍යානසුවයෙන් වැඩහුන් බුදුන්ට මෙසේ පූජාකොට සිට සත්වනදා අගසවුදෙදෙනා බුදුන් අභිමුඛයේ හිඳ වදාරණ බණ අසා ‘මම ද බුදුකෙනෙකුන්ට අගසවු ව මුන් වහන්සේ සේ ම නුවණැති ව බණ නිමවා දැන කියන්නවුන් කෙරෙහි අග්‍රවෙම්ව’යි කියා ප්‍රාර්ථනා කළසේක. බුදුහු ද විවරණ පතුල් දුන් සේක.

තවද මුගලන් මහතෙරුන් වහන්සේ ද එ ම සමයෙහි ඒ සරද තාපසයන්ගේ ගිහි යහලු වූ සිරිවඩ්ඪන නම් සිටු ව මෙපවත් අසා මම ද මාගේ යහළුවාණන් වහන්සේ කළ ප්‍රාර්ථනාව කෙරෙමියි සිතා නිලුපුල් මලින් මණ්ඩපයක් නිමවා ඒ බුදුන් ප්‍රධාන වූ එක් ලක්‍ෂ සූසැත්තෑ දහසක් රහතන් පවරා වඩා හිඳුවා සත්දවසක් මහ දන් දී ‘මම ද මතු බුදුවන කෙනකුන්ට ද්විතීය ශ්‍රාවක වෙම්ව’යි ප්‍රාර්ථනා කළ සේක. මෙසේ ඒ දෙදෙනා වහන්සේ එකල පටන් එකාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි ම ඔවුනොවුන් හා සමග මිත්‍ර ධර්මය රක්‍ෂාකොට දිව්‍යලෝකයෙහි හා මනුෂ්‍යලෝකයෙහි සම්පත් එක්ව ම විඳ මේ බුද්ධෝත්පාද කාලයෙහි කෝලිත උපතිස්ස නම් උතුම් වූ බමුණු කුලයන්හි ඉපද එ සමයෙහි එක් ව කළ කුශල බලයෙන් ම අප මහාගෞතම නම් බුදුරජාණන්ට අග්‍රශ්‍රාවක ශාසන නමැති දිව්‍යරූපයෙහි නිර්මිත වූ දිව ඇස් දෙකක් සේ ශෝභමාන වූ සේකැ යි දතයුතු.

තව ද ඒ මතු නො වෙයි. මේ දෙදෙනා වහන්සේ මාගේ ස්වාමි දරුවන් පාරමිතා භූමියෙහි ඇවිදිනා කල ද පාරමිතා නමැති රථය සුවසේ ගෙන යන රථ සක් දෙකක් සේ ම බුදුන්ට ද උපකාර ව බුදුන්ගෙන් ද උපකාර ලදින් අනුබල ම වාසයකළ හෙයිනුත් බුදුහු ඔබ ම අගසවු කළසේක් ම ය. කෙසේ ද? යත්;

සරභංග ජාතකයෙහි ස්වාමිදරුවන් සරභංග නම් ශාස්තෘ ව ලොව බුද්ධෝත්පාද කාලයක් සේ කරන සමයෙහි සාලිස්සර ය කිසවච්ඡ ය යි යන අතැවැසි මහ තවුස් ව බෝසතුන්ගේ සිත් සේ වාසය කළ සේකුත් මේ සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ම ය. තව ද චුල්ලසුතසෝම ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් සුතසෝම නම් රජ ව රාජධර්මයන් හා සත්‍යපාරමිතාව පූරණය කරන සමයෙහි ද ජ්‍යෙෂ්ඨ වූ පුත්‍ර ව, ජ්‍යෙෂ්ඨ වූ සේනාපති ව, අනුබල ව, පක්‍ෂපාත ව, කීකරු ව විසූයේ කුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද විනීල ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් හංසරාජ ව ඉපද හීන ජාතියෙහි ඇත්තවුන් මනා උපකාරයක් ලත් කල උත්සන්න වන පරිදි දක්වා හීන ස්ත්‍රීන් හා සමගත් උත්තමයන්ගේ සංවාසය වෙයි කියා කාමයෙහි ආදීනව දක්වන්නා වූ සමයෙහි ද ප්‍රිය පුත්‍ර වූ හංසපෝතක ව ඉපිද පියාණන් වහන්සේ මිනිස්ලොව ඇවිද්ද නො දී ප්‍රේම සහිත ව විසූසේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද කුරුංගමිග ජාතකයෙහි ස්වාමිදරුවන් කුරුංග නම් මුව රජ ව ඉපද හීන වූ මිත්‍රයාගේත් විශ්වාසය උතුම් ම ය යි මිත්‍රධර්මයෙහි බල දක්වා වදාරණ සසමයෙහි කෑරල ව ඉදිබුව ඉපද බෝසතුන් මල බැඳී ගියදා ජීවිතය රක්‍ෂාකොට වදාළසේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද මාගේ බුදුරජාණන් වහන්සේ ව්‍යාඝ්‍ර ජාතකයෙහි වෘක්‍ෂ දේවතාව ඉපද පාරමිතා ධර්මයන් පූරණය කරන සමයෙහි ද සිංහ ව ව්‍යාඝ්‍ර ව ඉපද ඔබ වසන ඒ මහවනයෙහි කිසිකෙනකුන් අත්තක් කපාලිය නො දි මිත්‍රකම් කළසේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද කුරුධර්ම ජාතකයෙහි ස්වාමිදරුවන් දාන පාරමිතාව හා ශීල පාරමිතාව පරිශුද්ධ කොට රක්‍ෂා කරන සමයෙහි ද සිටු පුත්‍ර ව ද්‍රොණමානවක නම් ඇමැති ව බෝසතුන් සේ ම පංචශීලය රක්‍ෂා කොට ධර්මයෙන් විසූ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද සසජාතකයෙහි මාගේ බුදුරජාණන් වහන්සේ සසරාජ ව ඉපද ශීලපාරමිතාවෙහි කෙළ පැමිණ සඳමඬලේ බැබැලුනු සමයෙහි වානර ව සිගාල ව එක් ව සිල්රක්‍ෂාකොට බෝසතුන්ගේ අවවාද නො ඉක්ම මිත්‍ර ධර්මය රක්‍ෂාකොට කීකරු ව විසූයේ කු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද කක්කාරි ජාතකයෙහි දශබලධාරි වූ තිලෝගුරු මාගේ බුදුරජාණන් තවුතිසා දිව්‍යභවනයෙහි දිව්‍යරාජ ව ලෝකාර්ථචර්‍ය්‍යාව පූරණය කොට මෘෂාවාදයෙහි ආදීනව පෑ ලොව භයගැන්වූ සමයෙහි යහළු වූ දිව්‍යරාජයන් ව ඉපද බෝසතුන් හා සමග ලෝවැඩ කොට ඇවිදි සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද සත්තුභස්ත ජාතකයෙහි මෙ ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සේනක නම් පණ්ඩිත ව ප්‍රඥාපාරමිතාවේ බල දක්වන සමයෙහි ආයූරක ය පුක්කුස ය යි යන අතැවැසි පණ්ඩිත ව ඔබ ම ගුරුකොට කීකරු ව විසූ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද තිත්තිර ජාතකයෙහි දිපදොත්තම වූ මාගේ ස්වාමිදරුවන් වටු ව ඉපද පවා ත්‍රිවේදය නිමවා දැන දඹදිව වේද දන්නන් කෙරෙහි අග්‍ර ව දිසාපාමොක් ආචාර්‍ය්‍ය ව මහ වන මැද පන්සලෙක වාසය කොට බොහෝ අතැවැසියන්ට ශිල්ප දී ප්‍රඥාපාරමිතාවෙහි සාරය මැඩගන්නා සමයෙහි එ වෙනෙහි සිංහ ව්‍යාඝ්‍ර දෙයාළුව ඉපද වටු වූ බෝධිසත්ත්ව ආචාරීන් කරා අවුත් අවවාද ඉගෙනගෙන එකාවනුව සේවනය කළ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද බිළාල කෝසිය ජාතකයෙහි ස්වාමිදරුවන් ශක්‍ර දේවේන්‍ද්‍ර ව ඉපද අශ්‍රද්ධා සතුන් දමා ලෝභ කරවා දන්සොඬ කරවා ලෝකාර්ථචර්‍ය්‍යාව පූරණය කළ සමයෙහි චන්‍ද්‍ර-සූර්‍ය්‍ය දිව්‍යපුත්‍ර ව ඉපද උන් වහන්සේට අනුබල සහාය ව මිනිස්ලොවට ආ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද චතුපට්ඨාන ජාතකයෙහි ස්වාමිදරුවන් එක්තරා එක් ගසෙක රුක්දෙවි ව ඉපද දිව්‍යධර්මයන් පූරණය කරන සමයෙහි ද චිත්‍රකූට පර්වතයෙහි දෙබෑ වූ රන්වන් හංසව ඉපද ගොදුරු සොයා යන එන කල බෝසතුන් වසන ගස සැතපි සැතපී ගොස් මිත්‍ර ධර්මය නො නසා කථා කොට ප්‍රියයෙන් අවවාද ලදින් ඇවිදි සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද හස්තිපාල ජාතකයෙහි මාගේ ශාක්‍ය සිංහයාණන් වහන්සේ හස්තිපාල නම් කුමාර ව ධන හැර ගොස් පැවිදි ව ශීල පාරමිතාවෙහි මුදුන් දැක ධ්‍යාන කෙළි කෙළනා සමයෙහි අශ්වපාල නම් ගවපාල නම් කුමාර ව බෝසතුන් හා සමග ම රජය හැර ගොස් මහණ ව ධ්‍යාන කෙළි කෙළි සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද ජවන හංස ජාතකයෙහි මාගේ ශිරෝමාණික්‍ය වූ බුදුරජාණන් වහන්සේ ජවන හංසරාජ ව ඉපද ඉරු හා ශීඝ්‍ර ජවයෙන් යුද්ධකොට ඉරු පරදවා ඉතා මහත් වූ වික්‍රම දක්වා සතුන්ගේ ආයු සංස්කාරය ඉතා ශීඝ්‍ර ව ගෙවෙන පරිදි නොයෙක් උපමාවෙන් දක්වා ලෝවැසියන් මරණයෙහි භයගන්වා කුශල මාර්ගයෙහි පිහිටුවා ලූ සමයෙහි මල් බෑ හංසරාජ ව ඉපද හිරුගේ තේජෝ ගින්නෙන් දා මියන වේලෙහි බෝසතුන් නිසා ම ජීවිතය ලදින් ජීවිතාන්තය දක්වා ඔවුනොවුන්ට උපකාර ව විසූ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද ඛණ්ඩහාල ජාතකයෙහි මාගේ ලෝකාධිපති වූ බුදුන් චන්‍ද්‍ර නම් කුමාරව ඛණ්ඩහාල නම් දේවදත්තයාගේ බන්‍ධනයට පැමිණ මරණ ප්‍රාප්ත වූ සමයෙහි සූර්‍ය්‍යගෝත්‍ර නම් චන්‍ද්‍රගෝත්‍ර නම් සහෝදර කුමාර ව ශක්‍රයාගේ බලයෙන් එක්ව ම ජීවිතය ගලවාගෙන බොහෝ කලක් එක්ව ම රාජ්‍යය කළ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද මහාජනක ජාතකයෙහි මාගේ බුදුරජාණන් වහන්සේ පඤ්චකාමයෙහි ආදීනව දැක කාමබන්‍ධන ය මුදාහැර තපසට වලට යන දා නාරක නම් මිගාජින නම් දෙනෙ ව මහා තාපස ව බෝසතුන් පෙරමග දී දැක වීර්‍ය්‍ය වඩා බණ කියා කල්‍යාණ මිත්‍ර ධර්මය පිරූ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද දුතිය තිත්තිර ජාතකයෙහි මාගේ ධර්මරාජයාණන් වහන්සේ වඩුජාතියෙහි ම ඉපද හිමාලය වනයෙහි මහ නුග රුකක් අස වැස බොහෝ ආයු ඇති ව ජ්‍යෙෂ්ඨාපචායන ධර්මයන් පුරන සමයෙහි ද වඳුරු ව ඇත් ව ඉපද බාලයන් මහල්ලන් තෝරා දැක බොහෝ කලක් බෝසතුන් ගුරු තනතුරෙහි තබා සහවාසය කළ සේකු ත් මේ දෙදෙනා වහන්සේම ය.

තව ද සම්භව ජාතකයෙහි මාගේම ප්‍රඥා ගඞ්ගා වූ බුදුරජාණන් වහන්සේ ම සත්හැවිරිදි සම්භව නම් කුමාර ව මුළු දඹදිව උපන් පැන කියා ලොව බුද්ධොත්පාද කොට ප්‍රඥා පාරමිතාවෙහි කුළුගන්නා සමයෙහි භද්‍රකාරය සඤ්ජයය යන මහලු දෙබෑ කුමාර ව කුඩා මල් වූ බෝසතුන් ගුරු කොට තබා ආදරයෙන් සහෝදරව විසූ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද සංකිච්ච ජාතකයෙහි ලෝකාචාර්‍ය්‍ය වූ මාගේ ස්වාමිදරුවාණන් බරණැස රජය කොට දශරාජධර්මයන් පුරන සමයෙහි ඔවුනොවුන්ට සතුරු වූ නාග මූෂික ජාතියෙහි ඉපද පවා දෙදෙන ඔවුනොවුන් දැක ඔවුනොවුන් හා මිත්‍ර ව තමන් දෙදෙනාගේ මිත්‍ර ධර්ම බලයෙන් ම බෝසතුන්ට ඒ සා රාජ්‍යයක් ගෙන දී උපකාර කළාහු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

මෙසේ මෙසේ නො එක් ජාති කෝටියෙහි ද සසර බුදුන් හා සමග ම විසූ හෙයිනුත් ඔවුනොවුන්ට උපකාර ව විසූ හෙයිනුත් බුදුහු තමන් වහන්සේ කෙළෙහි ගුණ දන්නවුන් කෙරෙහි අග්‍ර හෙයිනුත් මෙම දෙදෙනා වහන්සේ අග්‍රශ්‍රාවක කළසේක් ම ය. මේ දෙදෙනා වහන්සේ ත් උතුම් වූ අග්‍රශ්‍රාවක තනතුරු ලදින් බුද්ධශාසන නමැති ස්වර්ණ නෞකාවෙහි රන් පළුපත් සඟළක් සේ බුදුසස්න හොබවා වදාළ සේක. මෙසේ මේ අග්‍රශ්‍රාවක දෙදෙනා වහන්සේගේ විභාග සංක්‍ෂේපයෙන් දතයුතු.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ පස්වග මහණුන් විසින් කරන ලද අසාධාරණ වූ ප්‍රතිපත්ති පූජාය, යස නම් මහතෙරුන් ආදි පස්පනස් රහතන් විසින් කරන ලද විශේෂ වූ ප්‍රතිපත්ති පූජාය, භද්‍රවර්ගයෙහි තිස් මහ රහතන් විසින් කරන ලද උතුම් වූ ප්‍රතිපත්ති පූජාය, උරුවෙල කාශ්‍යපාදි දහසක් මහරහතන් විසින් කරන ලද අනොපම වූ ප්‍රතිපත්ති පූජාය, අගසවු දෙදෙන හා දෙසියපනස් මහ රහතන් කළා වූ උත්තුඞ්ග වූ ප්‍රතිපත්ති පූජාය, සුවාසූ දහසක් ප්‍රේතයන් ප්‍රේතාත්මභාවයෙන් මිදී දිව්‍යාත්මභාව ලදින් බණ අසා නිවන් දුටු වේලෙහි සන්තෝෂයෙන් කළාවූ සාධුකාර පූජාය, බිම්බිසාර රජ්ජුරුවන් හා සමග එක්ලක්‍ෂ දස දහසක් අමාත්‍යයන් සෝවාන් ආදි මාර්ගඵලයට පැමිණ එකෙණෙහි උපන් සන්තෝෂයෙන් කළා වූ සාධුකාර පූජාය. තවද දසදහසක් මනුෂ්‍යයන් ශරණ ශීලයෙහි පිහිටා දිවි පමණින් කළා වූ බහුමාන පූජාය, ඒ බිම්සර රජ්ජුරුවන් වේළුවනාරාමය පිළිගැන්වූ පූජාය, එ වේලෙහි මහීකාන්තාව කළා වූ මහීගර්ජනා නම් වූ පූජා ය යි මෙසේ දෙලක්‍ෂ පනස්දහස් තුන්සිය සත් සාළිසක් පමණ මහ පූජා ලත් හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, සංසාර හේතු වූ, සංසාර නෞකා වූ, සංසාරප්‍රතිෂ්ඨා වූ, සංසාර පාර වූ, සංසාර වාහන වූ, සංසාර ගජ වූ, සංසාර තුරඞ්ග වූ, සංසාර සාරග ඵලක වූ, සංසාර සාගර ද්වීප වූ, මාගේ ස්වාමිදරු වූ, මාගේ ම ශිරෝමාණික්‍ය වූ මාගේ ම මුදුන් මල්කඩ වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනුත් අර්හත් නම් වන සේක.

එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං අරහන්තිලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං-යි

මේ පූජාවලියෙහි අප බුදුන් රජගහ නුවරදී ලද

වේළුවනාරාම පූජා කථා නම් වූ තුදුස්වන පරිච්ඡේදය නිමි.

15. නිග්‍රොධාරාම පූජා කථා

සුදොවුන් රජු දූතයන් යැවීම

තව ද අප බුදුන් බන්‍ධු සමාගමයෙහි දී ලද නිග්‍රෝධාරාම පූජා නම් කවරහ? යත්;

ත්‍රිභුවන චූඩා මාණික්‍ය වූ මාගේ බුදුරජාණන් වහන්සේ මෙසේ රජගහ නුවර වේළුවන නම් ආරාමයෙහි ලෝවැඩ සාදා වසන කල ශුද්ධෝදන රජ්ජුරුවෝ ‘මාගේ පුතණුවෝ සිද්ධාර්ථකුමාරයෝ ලොවුතුරා බුදුවූල. දම්සක් දෙසූ ල. දැන රජගහා නුවර බිම්සර රජහුගේ වේළුවනාරාමයෙහි වෙසෙත් ල. තව දක්වා ත් තමන් හා ඇස දක්වා නො පියති. ඉතා තද වූ කෙණෙක ම පුතණුවෝ’යි කියා එක් ළදරු අමාත්‍යයකු කැඳවා දහසක් ඇමැතියන් ඕහට පාවා දී “තෝ සුදු පිළි හැඳ මඟුල් වෙස් ගෙන ම පුතණුවන් කරා වේළුවනයට ගොස් නුඹ වහන්සේගේ පියාණෝ ශුද්ධෝදන රජ්ජුරුවෝ නුඹවහන්සේ කැඳවා එවුදෑ ය. තමන්සේ වූ දැඩි කෙනෙක් නැත. මට සොරා නො කියා ම ගොස් මහණ ව ගියෝ ය. සහවුරුද්දක් මුළුල්ලෙහි එක දවසෙකත් මා ඇස පෙනී නො ගියෝ ය. දැන් බුදුවලාත් නිවන් අමා ය යි යන දෙයක් ලෝවැසියන්ට බෙදා දෙතියි ඇසීමි. තමන් වැදූ මෑණියන් පියාණන් බඩදලයෙන් වෙවුල වෙවුලා සිටියදී සෙසු සත්ත්‍වයන් කවා පොවා පින්කොට ඇවිදිනා කෙනෙක් මෙලොව තමන්මුත් අනික් කිසි කෙනෙකුත් නැත. මම තමන් ගේ පියාණ කෙනෙක් වීම් නම් තුමූ මාගේ පුතනු කෙනෙක් වූ නම් වහා මා කරා අවුදින් ඒ දහම් අමා මටත් දෙන්නේ ය. බොහෝ දෙනා අතින් අසා තමන්ගේ දහම් අමාවට මා මහත් තෘෂ්ණා ඇති පරිදි කියාලවයි උගන්වා ලා දහසක් දෙනා හා සමග ඒ අමාත්‍යයා බුදුන් කරා යවූහ.

ඒ ඇමැති දහසක් දෙනා පිරිවරා සැට යොදුන් මඟ ගෙවා රජගහා නුවරට ගොස් වේළුවනාරාමයෙහි මහ පිරිස් පිරිවරා ගුවන් සඳක් සේ වැඩහිඳ ධර්මදේශනා කොට වදාරණ බුදුන් දැක රජහුගේ මෙහෙවර අසුන් තබා මා බණ අසාගත මැනවැ යි සිතා පිරිස් කෙළවර සිට බණ අසා සපිරිවරින් රහත් ව ඒහි භික්‍ෂුභාවයෙන් මහණ වී ය. රජ්ජුරුවන්ට අසුන් මාත්‍රයකුත් කියා යවන කෙනෙකුත් නැත. රජ්ජුරුවෝ මේඝකාලය ප්‍රාර්ථනා කරන්නා වූ මයුර රාජයකු ගේ සර්වඥ නමැති මහා මේඝය කවර කලෙක දකිම් දෝ හෝ යි ප්‍රාර්ථනා කරන්නාහු පෙරමග බල බලා විඩා ව නැවත අනික් අමාත්‍යයකු කැඳවා දහසක් පුරුෂයන් හා සමග මඟුල් වෙස් ගන්වා පෙර සේ ම උගන්වා යවුවාහු ය. ඒ අමාත්‍යයා ද බණ අසා රහත් ව සපිරිවරින් ඒහි භික්‍ෂුභාවයෙන් ම මහණ වී ය. මෙසේ රජ්ජුරුවෝ ගිය ගිය වුන් ම පෙරළා නො එන සෙයින් නව වාරයෙක නව මහා අමාත්‍යයකු නවදහසක් පිරිස් දී පෙර සේම යවුවාහු ය. ගිය ගිය ඇමැතියෝ සහ පිරිවරින් රහත් ව ඒහි භික්‍ෂුභාවයෙන් ම මහණ ව අසුන් තබා සසුන් වැද සුව විඳිති. එසේ හෙයින් රජ්ජුරුවන් කියා යවන පවත් බුදුන්ට දන්වන එක කෙනෙකුත් නැත.

කාලුදායි තෙරුන්ගේ මඟවැණුම

තව ද ශුද්ධෝදන රජ්ජුරුවෝ සක් රුවනක් පතන සක්විති රජකු සේ බුදුන් දැකුම් පත පතා පෙරමග බල බලා විඩාව; නැවත බුදුන් හා එක දා උපන් කාළුදායි නම් අග මැතියාණන් කැඳවා, ‘පුත කාළුදායිනි! තොප හා එක දා උපන. එක කෙළිමඬලෙහි වැඩි තොප හා ඉතා යහළු වූ ම පුතණුවන් සිද්ධාර්ථ කුමාරයන් කැඳවා දහස් දහස් ඇමැතියන් දී නව වාරයෙක නව මහා අමාත්‍යයකු යවීමි. මේ නව දහසක් දූතයන් අතුරෙන් ම පුතණුවන් ගෙනෙන්නා තබා එක කෙනෙකුන් අසුන් පමණක් කියා එන කෙනෙක් නැත. තෙපි ද දහසක් දෙනා හා සමග මඟුල් වෙසින් ගොස් ම පුතණුවන් මා ඇස දක්වා ලිය හෙව්දැ’යි විචාළාහු ය. කාළුදායී කියන්නෝ: මම ගියම් නම් නුඹ පුතණුවන් ඇස දක්වා ලමි, බල එකෙක් ඇත, බුදුන් දුටු විට ම බුදුන් කෙරේ මහණ වෙමි, මහණ වන්ට අවසර ලදිම් නම් දැන් ම යෙමි යි කීහ. රජ්ජුරුවෝ කියන්නාහු: පුත තෙපි මහණ වේව යි මහණ නො වේව යි මපුතණුවන් මා ඇස දක්වාපු නම් මට නො කළ උපකාරයෙක් නැතැයි කීහ. ඉක්බිත්තෙන් ඒ කාළුදායී නම් අමාත්‍යයාණෝ රජ්ජුරුවන් වැඳ සමුගෙන දහසක් ඇමතියන් ගෙන සුදු පිළි හැඳ සුදු මල් පැලඳ සුදු විලවුන් ගෙන ශුද්ධ වූ බුදුන් කරා මෙසේ ශුද්ධ වූ මඟුල් වෙසින් ගොස් පිරිස් කෙළවර සිට බණ අසා රහත් ව ඒහි භික්‍ෂුභාවයෙන් මහණ වූහ.

කිඹුල්වතට නික්මීම

මෙසේ මහණ ව ඒ කාළුදායි නම් මහතෙරුන් වහන්සේ මහණ වූ සත් අට දවසක් ගිය කල මැදින්දින මස මැදිපොහොය සම්ප්‍රාප්ත විය. සියලු හේමන්ත කාලය ඉක්ම ගිය. වසන්ත කාලය සම්ප්‍රාප්ත විය. හැම භූමිමණ්ඩලය නිල් හීතණයෙන් ගැවසී සිටගත. සියලු වනලැහැබ් නන් මල්පෙළින් සැදි විසිතුරුව සිටගත. බුදුන් නෑයන් කරා කිඹුල්වත් පුරයට වඩනා කලැ යි සිතාලා එදා බුදුන් කරා ගොසින් වැඳ බුදුන් අභිමුඛයෙහි ඇඳිලි බැඳ ආදරයෙන් සිට මෙසේ දන්වන සේක.

අඞ්ගාරිනො දානි දුමා භදන්තෙ - ඵලෙසිනො ඡදනං විප්පහාය,

තෙ අච්චිමන්තො ව පභාසන්ති - සමයො මහවීර භගීරථානං.

.

නාති සීතං නාති උණ්හං - නාතිදුබ්භික්ඛ ඡාතතං,

සද්දලා හරිතා භූමි - එස කාලො මහාමුනි - යි.

යන මේ ආදි ගාථා සැටක් බුදුන් අභිමුඛයෙහි සිට විසිතුරු කොට කියා, ස්වාමිදරු වූ බුදුරජාණෙනි, හේමන්ත කාලය දැන් අතික්‍රාන්ත විය. වසන්ත කාලය සම්ප්‍රාප්ත විය. අනෙක ප්‍රකාර වූ වෘක්‍ෂ රාජයෝ තමන් තමන්ගේ පුරාණ පත්‍රයන් නුඹවහන්සේ වඩනා මග කසළ හරණවූන් සේ පහකළාහු ය. නන් විසිතුරු කුසුමයෙන් සැදී සැටයොදුන් මග මලිස් ගෙන නුඹවහන්සේට පූජාකොට සිටියවුන් වැනියහ. තව ද අභිනව පල්ලවාඞ්කරයන් හේතුකොට ගෙන ඒ වෘක්‍ෂරාජයෝ නුඹවහන්සේට ශීතනිවාරණයට ගිනි අඟුරු කබල් ගෙන සිටිනවුන් වැන්නහ. නොහොත් නුඹ වහන්සේට ලොහිතඞ්ක මාණික්‍ය රාශියෙන් පූජාකරන්නන් වැනියහ. මාර්ගයෙහි පිටි මං හැර වැට කඩහෙලු නැතිව නුඹ වඩනා මග නිරවුල් විය. සියලු සතුන්ට රෝ බිය නැත. සියලු ජනයන්ගේ කොටුගෙවල් පිරී ඉතිරී තිබෙන සමය ය. එසේ හෙයින් බත් බුලතින් ද සමෘද්ධ ය. ඉතා ඇලුත් නැත, ඉතා ගිමු ත් නැත. මේ තැන පටන් කිඹුල්වත දක්වා සැට යොදුන් මාර්ගයෙහි නුඹ වහන්සේට පූජාවට ඉඳුනිල් මිණි පෝරුවක් තනා අතරතුරෙහි රුවන් ගල් ඔබාලවා සේ උභය භාගයෙහි හටගත්තා වූ නීල තෘණ ජාතීන් අතුරෙහි රතිඳු ගොව්වෝ පෙළ පෙළ දී සිටගත්හ. යනාදීන් මෙසේ මාර්ගය වර්ණනා කළ සේක.

ඉක්බිත්තෙන් බුදුරජාණන් වහන්සේ, කිමෙක් ද? උදායි ස්ථවිරය මධුරස්වරයෙන් වර්ණනා කෙරෙයිනැ යි වදාළසේක. ඒ උදායි මහතෙරුන් වහන්සේ ස්වාමීනි, නුඹගේ පියාණෝ ශුද්ධෝදන රජ්ජුරුවෝ නුඹ වහන්සේගේ මේ බුද්ධ මහිම අසා මේ ධර්ම ප්‍රවාහය අසා, මේ නිවන් අසා නුඹ වහන්සේ දැක තුමූ ද ශ්‍රීවිඳුනා ලෝභයෙන් මා ඇතුළු ව දසදහසක් අමාත්‍යයන් දශවාරයෙක නුඹ වහන්සේ කරා දූත මෙහෙවර එවා තව දක්වා දැක්ක නොහී මග බල බලා හිරු උදය ප්‍රාර්ථනා කරන පියුම් විලක් සේ, නුඹ වහන්සේගේ දැක් ම ප්‍රාර්ථනා කොට කොට ම හිඳිති. තව ද නුඹ වහන්සේගේ මවු පිය දෙපක්‍ෂෙයි බන්‍ධු සමූහයෝ ද සඳරස් පතන කෞමද සමූහයක් සේ නුඹවහන්සේගේ තෙලෙ මුඛ චන්‍ද්‍රයාගෙන් දිවන දේශනා නමැත් රස් ප්‍රාර්ථනා කොට කොට ම හිඳිනාහු ය. ස්වාමීනි! නුඹවහන්සේගේ පිය මහරජ්ජුරුවන් ආදි වූ බන්ධු සමූහයාට අනුග්‍රහ කොට වැඩ වදාළ මනා කල් වේදැයි වදාළ සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ පූර්ව බුද්ධවරයන් බන්ධූන්ට සංග්‍රහ කළා වූ කාලය මේ යයි දැන ‘මාගේ බුද්ධවංශ චාරිත්‍රය කෙරෙමි’යි සිතා ‘මැනව උදායිය, බන්‍ධුසංග්‍රහයට යෙමි, භික්‍ෂුගණයාට තෝ ම ගොස් කියා දැන් ම රැස් කරව’යි වදාළ සේක. තෙරුන් වහන්සේ බුදුන් වදාළ බස් මුදුනෙන් පිළිගනෙ එ කෙණෙහි ම ගොස් එ පවත් භික්‍ෂුගණයාට සැලකළ සේක.

එ වේලෙහි අඟු-මගධ දෙරටින් මහණ වූ දස දහසක් රහතන් වහන්සේ ය, කිඹුල්වත සිට රජ්ජුරුවන්ගේ මෙහෙවරට අවුදින් මහණ වූ දස දහසක් රහතන් වහන්සේ ය යි මෙසේ විසිදහසක් රහතන් වහන්සේ, මණි කවචයෙන් සන්නද්ධ වූ ගඳැ’ත් පොව්වන් සේ, සුපිපි රත් පියුම් වනයක් සේ ‘අපි බුදුරජාණන්ට දරු වැ නීකම් පිළියෙන් සිවුරු වළඳුමෝදැ’යි ආකාශයට අත් පොවා සඳ වලාපටලයන් ඇදගෙන හැඳ පෙර ව ගන්නා සේ ශෝභා සම්පන්න වූ සුරකත වූ පාංශුකූල චීවරයන් දරාගෙන අවුත් බුදුරජාණන් පිරිවරා සිට ගත්හ.

එ කෙණෙහි ස්වාමි දරුවෝ දුරුතුමය පටන් මැදින් දින මස දක්වා දෙමසක් මුළුල්ලෙහි ප්‍රබන්‍ධෙයන් වාසය කළා වූ ඒ වේළුවනාරාමයෙන් එම මස මැදි පොහෝදා ඒ විසිදහසක් රහතන් පිරිවරා වැඩ කිඹුල්වත පටන් රජගහ නුවර සැට යොදුන් පමණ මාර්ගය සැට දවසෙකින් යෙමි යි සිතා දවස දවස යොදනක් තැන් බැගින් වඩනාසේක් ගම ගමදී ම මහත් වූ ධර්මදේශනාවන් කොට බොහෝ සතුන් නිවන් දක්ව දක්වා ම වඩනා සේක.

එ කල උදායි නම් මහතෙරුන් වහන්සේ ‘බුදුන් නික්මුණු පරිදි පිය රජ්ජුරුවන්ට කියා සතුටු කරවමි’යි සිතා බුදුන් නික්මුණු දෙවන දා උදාසන ම ආකාශයෙන් වැඩ රජ්ජුරුවන්ගේ ප්‍රාසාදයට බැස සිත ප්‍රසාද කරවා සිටිසේක. රජ්ජුරුවෝ මහතෙරුන් වහන්සේ දැක හැඳින බුදුන් දුටුවා සේ සතුටුව සිංහාසනයෙහි වඩා හිඳුවා තමන්ට පිසන ලද්දා වූ නොයෙක් රසයෙන් යුක්ත වූ රාජ භෝජනයෙන් පාත්‍රය පුරා පිළිගැන්වූහ. තෙරුන් වහන්සේ නික්මෙන ආකාරය දැක්වූ සේක. රජ්ජුරුවෝ ‘පුතණුවන් වහන්ස, මා දැක්ක දී වළඳා වදාළ මැනවැ’යි කීහ. එ බසට තෙරුන් වහන්සේ බුදුන් කරා ගොස් එක තෙන දී වළඳමි යි වදාළ සේක. බුදුහු දැන් කොයිදැයි විචාළාහු ය. මහරජ! විසිදහසක් රහතන් පිරිවරා තොප දක්නා නිසා මාගේ ආරාධනායෙන් බුදුන් දැන් වඩිමින් සිටිසේක් වේදැ යි වදාළ සේක. එ බසට රජ්ජුරුවන්ගේ සියලඟ නවානූදහසක් ලොම් කීල නැඟී කෙළින් සිටගත. රජ්ජුරුවන්ගේ දෙනුවන සතුටු කඳුළු පිරීගත් නිලුපුල සේ පිරී සිටගත.

මෙසේ සතුටු වූ සිත් ඇති ව ‘එසේ වී නම් නුඹවහන්සේ මේ බත් මේ ගෙයි දී ම වළඳා වදාළ මැනව. යම් දවසෙක මාගේ පුතණුවන් වහන්සේ මේ නුවරට වඩනාසේක් ද, එ දවස් දක්වා මාගේ ගෙන් ම බත් ගෙන ගිය මැනවැ’යි ආරාධනාකොට තෙරුන් වහන්සේ ඒ බත් වළඳවාලා ඒ පාත්‍රය සෝධවා සුවඳ සුන්නෙන් උළා පරිශුද්ධ කොට බුදුන් පෙර ගමැ වසන කල අනුභව කොට පුරුදු අග්‍රවූ තුන් හවුරුදු සුවඳ කවා තුබූ සුවඳ හැල්සාලේ බත් හා නොයෙක් සූප ව්‍යඤ්ජන රසයෙන් පාත්‍රය පුරා: මපුතණුවන් මා කෙරේ ප්‍රේම ඇතෝතින් අනික් දනක් නො වළඳා මාගෙන් ම යවූ බත් වළඳන්ට වදාළ මැනවැ’යි කියාලා පාත්‍රය තෙරුන් වහන්සේ අත තබාලූහ.

තෙරුන් වහන්සේ “මා මෙ තෙන පටන් ආකාශයෙන් යන නියාවත්, පාත්‍රය බුදුන්ට පිළිගන්වන නියාවත්, බුදුන් ඒ බත් වළඳන නියාවත්, රජ්ජුරුවන්ට පෙනේව”යි අධිෂ්ඨාන කොට ලා හුනස්නෙන් පැනනැගී සියලු ජනයන් බල බලා සිටිය දී පාත්‍රය ආකාශයට හැරපියා තමන් වහන්සේ නීල භෘඞ්ගරාජයක්හු පෙරට කොට පියුම් වනයකට ගමන් ගත් රාජහංස ලීලාවෙන් ලීලෝපේත ව වැඩ පාත්‍රය ගෙන ගොස් බුදුන් ශ්‍රී හස්තයෙන් තබාලූසේක. බුදුහු ඒ බත් ම වළඳා වදාළ සේක. මේ ම ක්‍රමයෙන් ම තෙරුන් වහන්සේ රජ්ජුරුවන් පහදවා දවස දවස රජගෙන් බත් පාත්‍රයක් බැගින් ගෙනෙන සේක. අනික් බතක් නො වළඳා බුදුහු එ බත ම වළඳා වදාරණ සේක් ම ය. තෙරුන් වහන්සේ ද දවස දවස වළඳා අන්තයෙහි රජගෙට ගොස් ‘අද බුදුහු මෙ තෙක් යොදුන් වැඩි සේක. අද බුදුහු මෙ තෙක් යොදුන් වැඩිසේකැ’යි රජ්ජුරුවන්ට හා සියලු රාජකුලයට බුදුගුණයෙන් යුක්ත වූ කථා කියා සූර්යෝදය බලන්නා වූ පද්මයන් සේ රාජකුල පද්මයන් සන්තෝෂ කරවා පහදවන සේක. ඒ කාරණයෙන් බුදුන් වහන්සේට “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං කුලප්පසාදකානං යදීදං කාළුදායි”යි එතදග්‍ර පාළිය වදාරා තමන් වහන්සේගේ ශාසනයෙහි කුල පහදවන්නන් කෙරෙහි අග්‍ර වූ තනතුරු දුන්සේක.

නිග්‍රොධාරාම පූජාව

මෙසේ සැට දවසෙකින් වැඩ වෙසඟ මැදි පොහෝ දා බුදුන් කිඹුල්වත් නුවරට වැඩි කල එක්ලක්‍ෂ සැට දහසක් කුලෙහි ශාක්‍ය රජදරුවෝ ‘අපගේ නෑ උතුමා අද බලම්හ’යි රැස්ව බුදුන් වසන්ට සුදුසු තැන් කවරේ දෝ හෝ යි පරීක්‍ෂා කරන්නාහු ‘නිග්‍රොධ නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ අයන ඉතා රම්‍ය ය. ඉතා සුදුසු ය’යි සනිටුහන්කොට එහි කළමනා වූ රාත්‍රිස්ථාන දිවාස්ථාන චංක්‍රමණාදී විහාර කර්මාන්ත නිමවාලා බුදුන්ට පෙර ගමන් කරන්නාහු. සියලු අලඞ්කාරයෙන් හෙබියා වූ සොළොස් හැවිරිදි සිටු කුමරුවන් සරහා සුවඳ මල් දී පන්සියයක් දෙන පළමුකොට පෙරමගට යවා, දොළොස් හැවිරිදි සිටුකුමරියන් පන්සියයක් සරහා මහනෙල්මල් කලබ් අතට දී දෙවනු ව යවා, ඉක්බිත්තෙන් පන්සියයක් ශාක්‍ය කුමරුන් සුවඳ මල් දී මහ පෙරහරින් යවා, සතරවනු ව පන්සියයක් ශාක්‍ය කුමරියන් සරහා යවා, පස්වනු ව එක්ලක්‍ෂ සැටදහසක් ශාක්‍ය රජදරුවෝ මහ පෙරහරින් ගොස් මහත් වූ පූජායෙන් සුවඳින් මලින් සුවඳ සුන්නෙන් පුද පුදා බුදුන් වඩා නිග්‍රොධාරාමයට ම ගෙන ගියාහු ය.

මෙසේ ස්වාමිදරුවෝ ඒ ආරාමයට වැඩ විසිදහසක් රහතන් පිරිවරා පනවනලද බුද්ධාසන මුදුනෙහි සවනක් රසින් දිලිහි දිලිහී බාලාකී මණ්ඩලයක් සේ වැඩහුන් සේක. ඒ ශාක්‍ය රජදරුවෝ නම් ස්වභාවයෙන් ම මානීහු ය. මානයෙන් මඩනා ලද්දාහු ය. එසේ හෙයින් සිතන්නාහු: “සිද්ධාර්ථ කුමාරයෝ නම තමන් බුදු වූ බවක් මුත් අපගේ බාල මලනුවෝ ය, බෑනනුවෝ ය, පුතනුවෝ ය, මුණුබුරානෝ ය” යනාදීන් කල්පනා කොට බාල රජකුමරුවන් ළඟට කැඳවා කොඳුරා මෙසේ මෙසේ කියති. “දරුවෙනි, තෙපි අපට පෙරට ම සිට සිද්ධාර්ථ කුමාරයන් වැඳලව. අපි තොප හැමට පිටි පසුව ලා නො හඟවා හිඳුම්හ. මුළු දඹදිව රජදරුවෝ ද දැන් උන් වඳිත්ම ය. දෙවියෝ දක්වා ත් වඳිත් ම ය. අප හැම උණ් නො වැන්දැ යි සැලව ගියේ නම් සිද්ධාර්ථ කුමාරයන් කෙරෙහි ඔහු ඇම සරු මඳ වෙති. එසේ හෙයින් මේ සොරකම කාටත් සැල නොකරව”යි උගන්නාලූහ. එ බස් අසා බුදුන්ට බාල වූ රජකුමරුවෝ බුදුන් වැඳලා මාලු නෑයන්ට අවසර නොදී දහස්ගණන් ඉඳගත්හ. ඉක්බිත්තෙන් මාලු නෑයෝ ඔවුන් අසු අස්සෙහි සැඟවී හිඳගත්තා හු ය.

ඤාතීන්ගේ මාන මර්දනය කිරීම

මෙසේ ඒ ශාක්‍ය නෑයන් තමන් වහන්සේ නො වැඳ උන් වේලෙහි උන්ගේ අදහස් දැන ලා “මාගේ නෑයෝ තමන් හැම මෝහයෙන් වැඩිමහලු හෙයිනුත්, බුදුබල නො දන්නා හෙයිනුත්, දැන් මා නො වඳනාහු ය. පූර්වයෙහි මා සේ ම සර්වඥවරයෝ නෑයන් අතින් කෙසේ වැඳුම් ගත්තු දෝ හෝ”යි බලා වදාරා ලොව ට අද්භූත වූ යමක ප්‍රාතිහාර්ය දක්වා මුළු ලොව විස්මය පත්කොට නෑයන් අතින් නමස්කාර පූජා ලද්දාහු ය යි දැන, ඒ මාගේ වංශයෙහි අනන්තාපරියන්ත වූ බුදුන් කළා වූ චාරිත්‍ර ය අද මම ද මෙතෙන දී කොට මේ නෑයන් අතින් වැඳුම් ගනිමි යි සිතාලා පීත කසිණ සමාපත්තියට සමවැද ලා මා ඇඟින් නික්මුණු ප්‍රභාස්කන්‍ධයෙන් දස දහසක් සක්වළ ඒකාලෝක වේව යි අධිෂ්ඨාන කොට වදාළ සේක.

එ කෙණෙහි ස්වාමිදරුවන් සිතූ සිත හා සමඟ විදුලිය කළඹක් දිවුවා සේ බුද්ධ ශරීරයෙහි අඟලක් සා තෙනින් රස් කඳෙක් දිව සතිස්ලක්‍ෂ දසදහස් තුන්සියපණස් යොදුන් වට ඇති සක්වළ ගබ මුළුල්ලෙහි යුගන්‍ධර පර්වතය සිසාරා දිවන අනන්ත නම් නාග රාජයා සේ තුන්යළක් දිව සක්වළ ගබ අවකාශ නැත්තෙන් අකනිටා බඹලොව ගැසී එයින් දසදහසක් සක්වළ මුළුල්ලෙහි ද මෙ සෙයින් ම රන්වන් රසින් පුරාගෙන හිරු දහස් සුවහස් නැංගා සේ ඒකාලෝක කෙරෙමින් සිටගත. ඒ ශරීර ප්‍රභාව ඔබ මොබ දිවන්කා දැක දස දහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මයෝ අපගේ බුදුහු අද විශේෂ වූ ධර්මදේශනාවක් දෙසත් වනැ’යි සන්තුෂ්ට ව නොයෙක් පූජාභාණ්ඩ ගෙන ඔවුනොවුන් පරයා දිව අවකාශය මුළුල්ලෙහි විදාපු සිතියම් කඩක් සේ දිලිහි දිලිහි ගහන ව සිට ගත්හ. එ කෙණෙහි ස්වාමිදරුවෝ අවකාශය බලා වදාළසේක. එ වේලෙහි බුදුන්ගේ අභිප්‍රායෙන් දසදහසක් සක්වළ මුළුල්ලෙහි දසදහසක් ටැම් හිඳුවාලුවා සේ දසදහසක් රන්මෙර එක පඞ්ක්තීන් සිට ඒ මුදුනෙහි දසදහසක් සක්වළ පූර්වචක්‍රවාටයෙහි පටන් පශ්චිම චක්‍රවාටය දක්වා එක්දහස් දෙසිය තුන්කෙළ පන්සාළිස් ලක්‍ෂයක් යොදුන් දිග රුවන් සක්මනෙක් මැවී ගිය.

ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ මේ රුවන් සක්මන දැක උදය පර්වතයෙන් පැනනැගී ලහිරුමඬලක් සේ මුහුද රළ පෙළ මැඩ එම දා රෑ ගුවන්කුසට පැන නැගි සොළොස් කලාවෙන් සම්පූර්ණ චන්‍ද්‍රයාගේ ශෝභා තමන් වහන්සේගේ පාදමූලයට හයාගෙන යුගාන්ත වාතයෙහි පවන් වේගයෙන් අහස්කුසට පැන නැඟී ඝන රන්මෙරක් සේ සවණක් රසින් දිලිහි දිලිහී ආකාශයට පැන නැඟී තමන් වහන්සේට අභිමාන කළා වූ නෑයන් ඉස්මුදුනෙහි පිය පස් වගුරුවන්නා සේ ඒ රුවන් සක්මන සක්මන් කරන්ට පටන්ගත් සේක. එ වේලෙහි “මේ දසදහසක් සක්වළ මුළුල්ලෙහි බ්‍රහ්මයෝ ද, දිව්‍යයෝ ද, මනුෂ්‍යයෝ ද, සිවුපාවෝ ද, පක්‍ෂීහු ද දියෙහි වසන සත්තු ද හැම නරකවල සත්තු ද, ලෝකාන්තරිකාදි නරකවල දුක් ගන්නා ප්‍රේතයෝ ද, යටත් වසයෙන් මේ දසදහසක් සක්වළ මුළුල්ලෙහි කිහිඹි කුහුඹුවන් දක්වාත් හැම දෙන ම නො වරදවා මාගේ බුද්ධ ශ්‍රී දකිත්ව”යි අධිෂ්ඨාන කොට වදාළ සේක.

එ කෙණෙහි දසදහසක් සක්වළ මුළුල්ලෙහි සියලු සත්හු බුදුන් සිත් සේ බලන්ට පටන්ගත්හ. හැම සත්තු ඔවුනො‘වුන් දකිති. බ්‍රහ්මයෝ කුහුඹුවන්ට පෙනෙති. කුහුඹුවෝ බ්‍රහ්මයන්ට පෙනෙති. තව ද දසදහසක් සක්වළ මුළුල්ලෙහි බ්‍රහ්මයන්ට පෙනෙති. තව ද දසදහසක් සක්වළ මුළුල්ලෙහි තෙළෙස් ලක්‍ෂ සැටදහසක් පමණ නරකවල ගිනි නිවින. ගිනි පලා මහ පියුම් පැන නැංග. එ කෙණෙහි ඒ නරකවල දුක් ගන්නා සත්ත්‍වයෝ හැමදෙන ම දුකින් මිදී සිහිල් වූ ශරීර ලදින් ඒ පියුම් පිටට පැන නැඟි බුදුන් දැක දොහොත් මුදුන් දී “අනේ බුදුරජාණෙනි! තෙල සක්මනින් පහ නොවන්න. හිමියාණෙනි! මේ නරකවල නිවුනු ගිනි දෙවනුව දැල්විය නො දෙන්න. ස්වාමීනි! බොහෝ දවසක් දුක් ගෙන ගැලවී ගියම්හ”යි යනාදීන් බැහැ තෙපුල් කිය කියා බුදුන් බල බලා සිට ගත්තාහු ය.

එ කල බුදුහු තේජෝකසිණ සමාපත්තියට සමවැද දසදහසක් සක්වළ දුමවා සියලඟින් ම ගිනිකඳ හරණට පටන්ගත් සේක. දස දහසක් සක්වළට ම සියලඟින් දියකඳ හරණට පටන්ගත් සේක. දකුණු උරමඬලෙන් නාඹ තල්කඳ සා ගිනිකඳෙක් නැගෙයි. වම් උරමඬලෙන් නැඹ තල්කඳ සා දියකඳෙක් බස්සි. ගිනිකඳ නැගි තෙනින් දියකඳෙක් බස්සී. දිය කඳ බට තෙනින් ගිනිකඳ නැඟෙයි. දකුණු කන්සිදුරෙන් නාඹ තල් කඳ සා ගිනිකඳෙක් නැගෙයි. වම් කන් සිදුරෙන් නාඹ තල්කඳු සා දියකඳෙක් බස්සී. ගිනිකඳ නැඟි තෙනින් දියකඳ බස්සී. දියකඳ බට තෙනින් ගිනිකඳ නැඟෙයි. දකුණු නාසා සිදුරෙන් නැඹ තල්කඳ සා ගිනිකඳෙක් නැඟෙයි. වම් නාසා සිදුරෙන් නාඹ තල්කඳ සා දියකඳෙක් බස්සී. ගිනිකඳ නැඟි තෙනින් දියකඳ බස්සී. දියකඳ බට තෙනින් ගිනිකඳ නැඟෙයි. දකුණු ඇස්වලින් නාඹ තල්කඳ සා ගිනිකඳෙක් නැඟෙයි. වම් ඇස්වලින් නාඹ තල්කඳ සා දියකඳෙක් බස්සී. ගිනිකඳ නැඟි තෙනින් දියකඳ බස්සී. දියකඳ බට තෙනින් ගිනිකඳ නැඟෙයි. දෑත දස ඇඟිල්ලෙන් නාඹ තල්කඳ සා ගිනිකඳ නැඟෙයි. නැවත නාඹ තල් කඳ සා දියකඳ බස්සී. දෙපය දස ඇඟිලි අගින් ද වෙන් වෙන් ව නාඹ තල්කඳ සා ගිනිකඳ නැඟෙයි. නාඹ තල්කඳ සා දියකඳ බස්සී. අසූසියයක් පමණ සන්‍ධියෙන් ද නාඹ තල්කඳ සා අසූසියයක් පමණ ගිනිකඳ එකවිට ම නැඟෙයි. නැවවත එ ම සන්‍ධිවලින් අසූසියයක් දිය කඳ බස්සී. නවානූ දහසක් රෝමකූපයෙන් ද එකවිට ම නාඹ තල් කඳ සා නවානූදහසක් ගිනිකඳ නැගෙයි. නැවත ඒ රෝමකූපවලින් නවානූදහසක් දියකඳ බස්සි. නැවත එම අසුඅස්සෙහි සියළඟින් හරනා සවණක් රසින් දසදහසක් සක්වළ ඉතිරගෙන යෙයි. ගිනි කඳ හරණා ක්‍ෂණයෙහි තේජෝකසිණ සමාපත්තියට සම වදනා සේක. දියකඳ හරණා ක්‍ෂණයෙහි ආපෝකසිණ සමාපත්තියට සම වදනා සේක. නිල් බුදුරස් හරණා කල නීලකසිණ සමාපත්තියට සමවදනා සේක. රන්වන් රස් හරණා කල නීලකසිණ සමාපත්තියට සමවදනා සේක. රන්වන් රස් හරණා කල පීත කසිණ සමාපත්තියට සමවදනා සේක. සුදු බුදුරස් හරණා කල ඔදාතකසිණ සමාපත්තියට සමවදනා සේක. සෙසු රස් හරණා කල වෙන වෙන සමාපත්තියට සමවදනා සේක. නොයෙක් රස් හරණා කල නොයෙක් සමාපත්තියට එකවිට ම සමවදනා සේක. එදා බුදුන්ගේ ශ්‍රී ශරීරයෙන් නික්මුණු දිය කඳන් දසදහසක් සක්වළ මුළුල්ලෙහි අල්ලක් සාත් නො තෙමුණා වූ සිමෙක් නැත්මය. එසේ හෙයින් බුදුන්ගේ ජන්ම ක්‍ෂෙත්‍රෙයහි මහපොළෝවල පස් පවා විමසා බැලුවහොත් ධාතු කොටත් පුදත් සුදුසු ම ය. එදා එ දිය තෙමෙනු කැමැත්තන් තෙමයි. නො කැමැත්තන් නො තෙමයි. දසදහසක් සක්වළ මුළුල්ලෙහි බම තමා දිවන ගිනිකඳින් මකුළු හුයකටත් වන හානියෙක් නැත. මෙසේ මාගේ ස්වාමිදරුවෝ මා සේ වූ එක සත්ත්‍වයකුගේ මුඛයෙන් තබා දහසක් ලක්‍ෂයක් සත්ත්‍වයන්ගේ මුඛයෙනුත් කියා නිමවාගත නොහැකි යමකප්‍රාතිහාර්‍ය්‍යෙයන් ලොව විස්මය කොටලා ඒ සක්මන් සක්මන කරනා සේක.

එ කෙණෙහි දසදහසක් සක්වළ මුළුල්ලෙහි දිව්‍ය බ්‍රහ්මයෝ සක්මනින් එක ඇලයෙක සේසත් ගෙන සිටගත්හ. දසදහසක් සක්වළ ශක්‍රයෝ අනික් භාගයෙහි ජයසක් ගෙන සිටගත්හ. සුයාමයෝ පෙළක් මිණිචාමර සලති, සන්තුෂිතයෝ පෙළක් මිණිතල්වැව සලති. සෙසු දෙවියෝ මල් වර්ෂා වස්වති. මෙසේ පූජා විඳ මාගේ ස්වාමිදරුවෝ ඒ සක්මන සක්මන් කරනාසේක. සක්මන් කරන කල දසදහසක් සක්වළ මුළුල්ලෙහි ඇවිද සක්මන් කරන සේක. හැම සතුන්ට නො වරදවා ම පෙනෙන සේක. බුදුන් සක්මන මහතැයි මහත් ශරීරයක් මවා ගත්තෙත් නැත. තමන් වහන්සේ කුඩා හෙයින් ඒ සක්මන ද කුඩාකොට ගත්තෙත් නැත. ඒ මාගේ බුදුන්ගේ අචින්ත්‍ය වූ බුද්ධවිෂයෙක්ම ය. තුඩකම සේත් නොකොට බණත් වදාරන සේක. මෙසේ මේ දසදහසක් සක්වළ බුදුන්ගේ බුද්ධශ්‍රීයටම අවකාශ ය. දසදහසක් සක්වළ සත්ත්‍වයෝ ම එක බුදුන්ගේ රූපශ්‍රී බලා ප්‍රාතිහාර්‍ය්‍ය බලා ඇස් හයාගත නො හෙති.

ඒ අවස්ථාවෙහි දෙවන ඉරක් දෙවන සඳක් නැංගා සේ, දෙවන කප්රුකක් නැංගා සේ, දෙවන අමාකඳක් නැංගා සේ දෙවන බුදු කෙනෙකුන් මැවූ සේක. දසදහසක් සක්වළ සත්ත්‍වයෝ ම “කොල! ආදි එක බුදුකෙනෙක, දැන් දෙබුදු කෙනෙකැ”යි බල බලා සතුටුව සිටිති. එක් බුදුකෙනෙක් වැඩහිඳිනා සේක. එක් බුදු කෙනෙක් සක්මන් කරනා සේක. සක්මන් කරන බුදුහු වැඩහිඳිනා සේක. වැඩහුන් බුදුහු සක්මන් කරන සේක; සමහර විට දෙදෙනා වහන්සේම සක්මන් කරන සේක. එක් බුදු කෙනෙක් බස්නාහිර සක්මන් මෝවිට සිට වඩනා සේක. එක් බුදු කෙනෙක් නැගෙනහිර දිසාවේ සක්මන් මෝවිට සිට වඩනා සේක. මැද සක්මන දී ඔවුනොවුන් කරා නකත්තරු දෙකක් සේ පැමිණ ග්‍රහ යුද්ධයෙහි විමනින් විමන ගැසී ඉවත් ව කැමැති කැමැති වීථියෙහි යන ග්‍රහ විමන් දෙකක් සේ දෙදෙනා වහන්සේ ඔවුනොවුන් කරා පැමිණ ඔවුනොවුන් කෙරෙහි ආදරයෙන් දෙනෙ ම ඔවුනොවුන්ට මග හැර ඉවත් වන සේක. ඒ දුටුවා වූ දිව්‍යමනුෂ්‍යයෝ සාධුකාර දෙති. එවේලෙහි මවා ගත් බුදුන් විචාරණ පැන ලොවුතුරා බුදුහු කියන සේක. ලොවුතුරා බුදුන් විචාරණ පැන මැවු බුදුහු කියන සේක. දෙ බුදුහු ම එක්වැනි වූ උස ඇතිසේක. එක්වැනි වූ මහත ඇතිසේක. එක්වැනි වූ ශරීරප්‍රභා ඇති සේක. එක්වැනි වූ බ්‍යාමප්‍රභා ඇති සේක. එක්වැනි වූ ගමන් ඇති සේක. එක්වැනි වූ දේශනා ඇති සේක. එක්වැනි වූ කටහඬ ඇති සේක. දසදහසක් සක්වළ මුළුල්ලෙහි මෙසේ දෙදෙනා බුද්ධශ්‍රීපානා වේලෙහි මුන්වහන්සේ ලොවුතුරා බුදුහු ය. මුන්වහන්සේ නිර්මිත බුදුහු ය යි දැනගන්නා වූ එක ද දෙවියෙක් බඹෙක් නැත.

මාගේ ස්වාමිදරුවාණන් එකලා වූ බුදුවෙසින් දසදහසක් සක්වළ මුළුල්ලෙහි පළමු ව ප්‍රාතිහාර්‍ය්‍ය පානා වේලෙහි ඔබගේ බුද්ධශ්‍රීයට දසදහසක් ලොව එක යොහොඹු වැලෙක. යෙළසියයක් යොදුන් ගරුඬරාජයා හිඳගත් වේලෙහි යොහොඹුවැල නො පොහොනා සේ විය. සතර රියන් ගබඩාවකට හිරුමඬල සඳමඬල වැද ගියා සේ බුද්ධශ්‍රීයට ලොකශ්‍රී හක විය. මෙසේ හක වූ ලෝකයෙහි බුදුහු දෙදෙනෙකු වහන්සේ ප්‍රාතිහාර්‍ය්‍ය පානා වේලෙහි ලොව කුඩා වූ නියාවටත්, බුදුසිරි බොහෝ වූ නියාවටත්, උපමාවෙක් මාගේ සිතට නො වැටහේ ම ය. දොළොස් යොදුන් බ්‍රහ්මරාජයන් දෙදෙනෙක් කැටපත් වටක් සා බිමෙක පෙනී ගියා වැන්නැ යි කියාත් නො කියමි.

මෙසේ අද්භූත වූ, මෙසේ ආශ්චර්‍ය්‍ය වූ, මෙසේ විස්මය වූ, මෙසේ අසදෘශ වූ මෙසේ අනුපම වූ, මෙසේ අප්‍රමාණ වූ, ප්‍රාතිහාර්‍ය්‍යයෙන් බුද්ධශ්‍රි දක්වා මේ රුවන් සක්මන මෙසේ සක්මන් කරන වේලෙහි ධම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ රජගහා නුවර ගිජ්ඣකූට නම් පර්වතයෙහි වැඩවසන සේක් බුදුන්ගේ මේ ප්‍රාතිහාර්‍ය්‍ය දැක ඉතා ආශ්චර්‍ය්‍ය වූ සිත් ඇති ව “මාගේ ස්වාමිදරුවාණෝ අද මුළු ලොවට අද්භූත වූ පෙළහරක් දක්වා වදාරණ සේක. මා දැන් උපේක්‍ෂා වනු නො යෙදෙයි. මම එතෙනට ගොසින් බුදුන් හා සමග කතාවක් කෙරෙමි”යි සිතා තමන් වහන්සේගේ පන්සියයක් රහතන් කැඳවා ඇවැත්නි! බුදුන් කරා යම්හ යි ඔවුන් හා සමග ආකාශයට නැගිලා ‘අද මේ සියලු දසදහසක් සක්වළ බුදුන්ගේ ප්‍රාතිහාර්‍ය්‍ය ය බලන සියලු සත්ත්‍වයෝ ම මා දකිත්ව’යි අධිෂ්ඨාන කොට ලා රුවන් සක්මන බලා නික්මුණු සේක. දසදහසක් සක්වළ සියලු සත්ත්‍වයෝ සැරියුත් ස්වාමීන් වඩනා ශ්‍රී දැක “කොල! ආදි එක බුදු කෙනෙක, පසු ව දෙ බුදු කෙනෙක, තවත් බුදුකෙනෙක් එති. තුන් බුදුන්ගේ ශ්‍රි බලම්හ”යි කිය කියා සතුටු වෙත්. පස්සෙහි පන්සියයක් දෙනා වහන්සේ වඩනා දැක ‘බුද්දු තුන්දෙනෙක් ම නො වෙති. පන්සියයක් බුද්දු එන්නැ’යි යෙති. සත්ත්‍වයන් මෙසේ සිත ව සිත වා මහත් වූ ප්‍රාතිහාර්‍ය්‍ය දක්ව දක්වා පන්සියයක් රහතන් පිරිවරාගෙන අවුදින් රුවන් සක්මන කෙළවරට වැඩ බුදුන් වැඳලා සක්මන් මෝවිට වැටී, අගෙක නඟාලූ ප්‍රදීපයක් සේ දෝත් මුදුනෙහි තබාගෙන බුදුන්ගේ ශ්‍රි මුඛය බල බලා වදාරණ සේක්:

කීදිසො තෙ මහාවීර - අභිනිහාරො නරුත්තම,

කම්හි කාලෙ තයා ධිර - පත්‍ථිතා බොධි මුත්තමං - යි.

යන මේ ගාථාව බොහෝ දිව්‍යසේනාව බල බලා සිටිය දී වදාරා:

“ස්වාමීනි! ලොවුතුරා බුදුරජාණෙනි! මේ ලෝකයෙහි මට වඩා පිනැත්තා වූ සත්ත්‍ව කෙනෙක් නැත. කාරණ කිම? යත්:

නුඹ වහන්සේ වැනි නිවන් අමා දෙන මෑනි කෙනෙකුන් ලදිමි. නුඹ වහන්සේ වැනි සසර දුකට පිහිට වූ පියාණ කෙනකුන් ලදිමි. නුඹ වහන්සේ වැනි සියල්ල නිමවා දන්නා ගුරු කෙනකුන් ලදිමි. නුඹ වහන්සේ වැනි සද්ධර්ම මහානිධානයක් ලදිමි. නුඹ වහන්සේ වැනි ස්වාමිදරු කෙනකුන් ලදිමි. නුඹ වහන්සේ වැනි සිතු සිතූ ප්‍රශ්න නමැති රුවන් දෙන සිතුමිණි රුවනක් ලදිමි. නුඹ වහන්සේ වැනි කෙලෙස් නමැති දුක් නසන දිව්‍ය ඖෂධයක් ලදිමි. නුඹ වහන්සේ වැනි ලෝ උතුමාන කෙනකුන්ට අගසව්ව දෙවන තනතුරු ලදිමි. මේ මේ කාරණයෙන් මට වඩා පිනැති කෙනෙක් මේ ලෝකයෙහි නැත් ම ය. අද නුඹ වහන්සේගේ මේ බුද්ධශ්‍රීයට දසදහසක් ලොව එක පැලක් සේ කුඩා විය. නුඹ වහන්සේගේ බුද්ධ ශ්‍රී බොහෝ ව ගිය; නුඹ වහන්සේගේ රූප දර්ශනයට දෙවිමිනිසුන්ගේ ඇස් මඳ ව ගිය. රූප ශ්‍රී බොහෝ ව ගිය. නුඹ වහන්සේගේ දේශනා ගඞ්ගාවට දෙවිමිනිසුන්ගේ කන් තැටි පවා මඳ වි ය. දේශනා බොහෝ ව ම ගියහ. අද නුඹවහන්සේගේ බුද්ධාලම්භන ප්‍රීති නමැති මහා වර්ෂාවට ලෝවැසියන්ගේ සිත් එක ලියද්දක් සේ මඳ ව ගිය. බුද්ධාලම්භන ප්‍රීති බොහෝ ව ගිය. මේ බඳු වූ බුද්ධ ශ්‍රී ලැබීමට පෙර කෙසේ වූ සමයෙක, කෙසේ වූ අනර්ඝ පිනක් කොට කෙසේ වූ බුදුකෙනෙකුන් දැක කෙසේ වූ ප්‍රාර්ථනාවක් කළ සේක් ද, ඒ මට විශේෂයෙන් වදාළ මැනව”යි ආරාධනා කළ සේක.

බුද්ධ වංශ දේශනාව

එකල මාගේ ස්වාමිදරුවෝ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ තෙපුල් අසා “අද මේ ස්ථානයෙහි දී බුද්ධවංශ දේශනාව කෙරෙමි. ඒ දේශනාවගේ කෙළවර බොහෝ සතුන්ට අධිගමය වෙයි” සිතා තමන් වහන්සේගේ මුඛ නමැති කරඬුව හැර සැඟවී තුබූ නිධාන වස්තුවක් දක්වා සියලු සතුන්ට බෙදා දෙන්නා සේ බුද්ධවංශ දේශනාවට පටන් ගත් සේක. කෙසේ ද? යත්:

අසව ශාරිපුත්‍රස්ථවිරය, ගිය දවස සාරාසඞ්ඛ්‍යය කප්ලක්‍ෂයකින් යට එක් කල්පයෙක:තණ්හඞ්කරය, මේධඞ්කරය. සරණඞ්කරය, දීපඞ්කරය යි බුද්ධදිවාකරයෝ සතරදෙනෙක් ලොව පහළවූහ. එයින් අසඞ්ඛ්‍යයක් කප් බුද්ධශූන්‍යව ගිය කල එක් කපෙක කොණ්ඩඤ්ඤ නම් බුදුකෙනෙක් උපන්නාහු ය. එයින් අසඞ්ඛ්‍යයක් කප් ගියකල මඞ්ගලය - සුමනය - රේවතය - සෝභිතය යි බුදුහු සතරදෙනෙක් උපන්නාහු ය. එයින් අසඞ්ඛ්‍යයක් කප් ගිය කල එක් කල්පයෙක අනෝම දස්සිය - පදුමය - නාරද යයි සර්වඥවරයෝ තුන්දෙනෙක් උපන්නාහු ය. එයින් අසඞ්ඛ්‍යයක් කප් ගියකල අපගේ මේ මහා භද්‍ර කල්පයට ලක්‍ෂයක් වන කප පියුමතුරා නම් බුදුකෙනෙක් උපන්නාහු ය. ඒ ලක්‍ෂයක් වන කපින් සැත්තෑ දහසක් කප් බුද්ධශූන්‍යව ගිය කල මේ කල්පයට තිස් දහසක් වන කප සුමේධය-සුජාත යයි සර්වඥවරයෝ දෙදෙනෙක් උපන්නාහුය. එයින් විසිනව දහස් අටසිය දෙයානූකපක් ගිය කල මෙයට එක්සිය අටළොස්වන කප පියදස්සිය-අත්‍ථදස්සිය-ධම්මදස්සී යයි සර්වඥවරයෝ තුන්දෙනෙක් උපන්නාහු ය. එයින් බුද්ධශූන්‍ය වූ කප් සූවිස්සක් ගිය කල මෙයට සුවානූවන කප සිද්ධාර්ථ නම් බුදුකෙනෙක් උපන්නාහු ය. එයින් බුද්ධශූන්‍ය ව එක් කපක් ගිය කල තිස්ස ය-ඵුස්ස යයි සර්වඥවරයෝ දෙදෙනෙක් උපන්නාහු ය. එයින් කප් දෙකක් ගිය කල මෙයට එකානූවය කප මහා විපස්සී නම් බුදුකෙනෙක් උපන්නාහු ය. එයින් බුද්ධශූන්‍ය වූ කප් පණස් නවදෙනෙකු ගිය කල මෙයට එක්තිස් වන කප සිඛීය වෙස්සභූ ය යි යන සර්වඥවරයෝ දෙදෙනෙක් උපන්නාහුය. මේ මහාභද්‍රකල්පයෙහි කකුසඳය-කෝණාගමනය ය-කාශ්‍යප ය යි බුදුහු තුන්දෙනෙක් උපන්නාහු ය. දැන් මම සතරවනු ව ගෞතම නම් බුදු වීමි. මතු මෛත්‍රය නම් බුදු කෙනකුත් උපන්නාහු ය. එසේ හෙයින් මේ කල්පය බුදුන් පස් දෙනකුන්ගෙන් උතුම් වූ හෙයින් මහා භද්‍රකල්ප නම් විය.

ශාරිපුත්‍ර ස්ථවිර ය. ඒ දීපඞ්කරාදි සියලු සර්වඥවරයෝ ම සොළොසාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් හෝ, අටාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් හෝ සාරාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් හෝ, පාරමිතා පූරණය කළාහු ය. ඒ සියලු සර්වඥවරයෝ ම කෙළවර වෙස්සන්තරාත්ම වන් සමයෙහි මහ පොළොව ගුගුරුවා පුත්‍රදාරාදි පරිත්‍යාගයෙන් මුළු ලොව විස්මය පත් කළාහු ය. ඒ සියලු සර්වඥවරයෝ ම තුසීපුරෙන් සැව මවුකුස පිළිසිඳ මා සේම ලොවුතුරා බුදුව ලෝවැඩ කළාහු ම ය යි යනාදීන් මෙසේ බුද්ධවංශ දේශනාව වදාරා තමන් වහන්සේ ඒ ඒ බුදුන් නො වරදවා දැක කළ කළ පින් සම්භාරයක් වදාරණ සේක්:

තව ද ශාරිපුත්‍රස්ථවිරය, මම ඒ දීපඞ්කර නම් බුදුන් සමයෙහි සුමේධ නම් තාපසව අෂ්ටධර්මයෙන් යෙදී ජීවිතයෙන් පූජා කොට මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. කොණ්ඩඤ්ඤ නම් බුදුන් සමයෙහි විජිතාවී නම් චක්‍රවර්ති රජව බුදුන්ට තුන් මසක් අසදෘශ මහ දන් දී චක්‍රවර්ති රජය පුදා මේ බුදුවට ම ප්‍රාර්ථනා කෙළෙමි. මඞ්ගල නම් බුදුන් සමයෙහි සුරුචි නම් බ්‍රාහ්මණව දොළොස් යොදුන් සත් රුවන් මඬුවෙක කෙළ ලක්‍ෂයක් රහතන් හා සමග බුදුන් වඩා හිඳුවා චතුමධුර කිරිපිඬු සත් දවසක් වළඳවා කෙළ ලක්‍ෂය්ක සිවුරු පිරිකර දී මේ බුදුබවටම ප්‍රාර්ථනා කෙළෙමි. සුමන නම් බුදුන් සමයෙහි අතුල නම් නාගරාජන්ව කෙළලක්‍ෂයක් බුදු පාමොක් මහසඟපිරිස් දිව්‍ය භෝජන වළඳවා දෙකෙළ ලක්‍ෂයක් දිවසළු පුදා මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. රේවත නම් බුදුන් සමයෙහි අතිදේව නම් බ්‍රාහ්මණව දහසක් වටනා උතුරු සළුවක් පුදා බුදුන් බල බලා සිට විසිතුරු සොලෝ දහසක් බැඳ ස්තුති පූජා කොට මේ බුදුබවටම ප්‍රාර්ථනා කෙළෙමි. සෝභිත නම් බුදුන් සමයෙහි සුජාත නම් බමුණුව බුදුන්ට තුන්මසක් මහ දන් දී මේ බුදු බවටම ප්‍රාර්ථනා කෙළෙමි.

අනෝමදස්සී නම් බුදුන් සමයෙහි මහේශාක්‍ය වූ යක්‍ෂරාජන් ව ඉපද සත් දවසක් බුදු පාමොක් මහ සඟ පිරිසට දිව්‍ය භෝජන දන් දී මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. පදුම නම් බුදුන් සමයෙහි සිංහරාජව ඉපද ධ්‍යාන සුවයෙන් වැඩ හුන් බුදුන් දැක ප්‍රීතින් තුන් යළක් පැදකුණු කොට තුන් යළක් සිංහනාදයෙන් පුදා සත් දවසක් ඇස නො මරා බුදුන් බල බලා සිට ඇස් දෙකින් පූජාකොට මේ බුදු බවට ම ප්‍රාර්ථනා කෙළෙමි. නාරද නම් බුදුන් සමයෙහි උග්‍රවූ තාපසව අසූ කෙළක් රහතන් හා සමඟ මා කරා වැඩි බුදුන් දැක සත්දවසක් බුදුපාමොක් මහ සඟ පිරිසට උතුරුකුරු දිවින් දිව්‍යාභාර ගෙනවුත් වළඳවා අනර්ඝ වූ රත් සඳුනක් බුදුන්ට පුදා එදා ද මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. පියුමතුරා නම් බුදුන් සමයෙහි ජටිල නම් මහ රැටි ව බුදු පාමොක් සඟ පිරිසට මහදන් හා සිවුරු පිරිකර දී මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. සුමේධ නම් බුදුන් සමයෙහි උත්තර නම් මානවක ව අසූකෙළක් ධන එක දා වියදම් කොට දන් දී ඒ බුදුසසුන් වැද මහණව මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. සුජාත නම් බුදුන් සමයෙහි සප්තරත්න නම් චක්‍රවර්ති රජ ව ඒ සත්රුවන හා සමග රජ ය බුදුන්ට පුදා එදා මහණ ව මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. පියදස්සි නම් බුදුන් කාශ්‍යප නම් ධන මානවක ව කෙළ ලක්‍ෂයක් ධන වියදම් කොට සඞ්ඝාරාමයක් කරවා බුදුන්ට දන් දී මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි.

අත්‍ථදස්සි නම් බුදුන් සමයෙහි සුසීම නම් තාපස ව බුදුන් අතින් බණ අසා එ කෙණෙහි ම දිවගොස් ශක්‍රයාගේ පරසතු ගස සලා පරසතුමල් වර්ෂාවක් වස්වා පරසතු මලින් දිවමල් මඬුවක් මවා පරසතු මල් කූඩයක් ඒ බුදුන් සිරසට පුදා එදා ද මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. ධම්මදස්සි නම් බුදුන් සමයෙහි ශක්‍රදේවේන්‍ද්‍රව ඉපද ඒ බුදුන්ට දිවමල් සුවඳින් පූජාකොට මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. සිද්ධාර්ථ නම් බුදුන් සමයෙහි මඞ්ගල නම් තාපස ව දඹදිවට සලකුණු වූ සියක් යොදුන් උස දඹගසින් මහ දියකළ සා දඹ ගෙනවුත් නව කෙළ ලක්‍ෂයක් රහතන් හා සමග ඒ බුදුන් දඹ වළඳවා මේ බුදු බවට ම ප්‍රාර්ථනා කෙළෙමි. තිස්ස නම් බුදුන් සමයෙහි සුජාත නම් රජ තවුස් ව යොදනක් සා කරඬුවකින් දිවමල් පුදා මහ පියුමක් බුදුන් සිරසට පුදා එදා ද මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. ඵුස්ස නම් බුදුන් සමයෙහි විජිත නම් රජ ව රජය හැර බුදුන් කෙරේ මහණ ව පිටකත්‍රය ගෙවා දැන බුදුසස්නෙහි ධම්මකථිකයන් කෙරෙහි අග්‍ර ව ප්‍රතිපත්තීන් බුදුන්ට පූජාකොට මේ බුදු බවට ම ප්‍රාර්ථනා කෙළෙමි. විපස්සි නම් බුදුන් සමයෙහි අතුල නම් දිව්‍ය නාගරාජන් ව සඳමඬලක් සා මඬුවෙක දී සත්දවසක් බුදුන් සඟුන් වළඳවා අනර්ඝ වූ මිණි පළඟක් පුදා එදා ද මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි.

සිඛී නම් බුදුන් සමයෙහි අරින්‍ද නම් රජ ව සත් දවසක් මහ දන් දී මඟුලැ‘තු සරහා ඇතු උසට කප්පිය භාණ්ඩ පුදා එදා ද මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. වෙස්සභූ නම් බුදුන් සමයෙහි සුදසුන් නම් රජ ව දහසක් විහාර කරවා බුදුන් පිළිගන්වා රජ සැපතත් පුදා මහණ ව තව ද තෙළෙස් ධුතාඞ්ග ප්‍රතිපත්තීන් ඒ බුදුන්ට පුදා මේ බුදුබවටම ප්‍රාර්ථනා කෙළෙමි. කකුසඳ නම් බුදුන් සමයෙහි ඛේම නම් රජ ව සතලිස් දහසක් පමණ රහතන් හා සමග ඒ බුදුන් පවරා මහදන් දී සතළිස්දහසක් පමණ පාත්‍රා සිවුරු හා අඳුන් ආදි නොයෙක් බෙහෙත් බඩු දන් දී මේ බුදුබවටම ප්‍රාර්ථනා කෙළෙමි. කෝණාගමන නම් බුදුන් සමයෙහි සමන නම් නරේන්‍ද්‍ර ව වස් තුන්මසක් බුදුන්ට දන් දී බුදුපාමොක් මහ සඟපිරිසට සළු සිවුරු පිරිකර දන් දී අනගි වූ රුවන් මරවැඩි සඟළක් පුදා එදා ද මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි. කාශ්‍යප නම් බුදුන් සමයෙහි ජෝතිපාල නම් බමුණු ව ඝටීකාර නම් කුම්භකාරයාගේ මිත්‍රබලයෙන් බුදුසසුන් වැද මහණ ව තුන් පිටකය ගෙවා දැන ප්‍රතිපත්තීන් පූජාකොට මේ බුදුබවට ම ප්‍රාර්ථනා කෙළෙමි.

මෙසේ ශාරිපුත්‍ර ස්ථවිරය, ලොවුතුරා බුදුබව නම් එසේ මෙසේ සාදාගත හැකි සම්පත්තියෙක් නො වෙයි. යම් සේ ලක්‍ෂ ගණන් මහා ගඞ්ගාවල ජලය මහ මුහුදට අනවකාශයෙන් වදු ත් මහමුහුද උතුරුවාලිය නො හැක්කා සේ, කපක් මුළුල්ලෙහි වස්නා වර්ෂා ජලයෙන් පුරාලිය නො හැක්කා සේ, මේ බුදුබව ද කෙතෙක් පුණ්‍ය සම්භාරයන් රැස්කොට ත් පුරාලිය නො හැක්කේ ම ය. පාරමිතාවන් වැඩු වැඩු සේ බුද්ධශ්‍රීත් වැඩි වැඩීම පල දෙන්නේ ම ය. එහි විභාග මඞ්ගලාදි බුදුන්ගෙන් ම දතයුතු.

“මෙසේ දීපඞ්කරාදි හැම බුදුන් නො වරදවා ම දැක මෙසේ මෙසේ වූ මාගේ ධන පමණින් කරන ලද කුසල් නමැති මහා ගඞ්ගා සමූහයන්, පාරමිතා නමැති මහ මුහුදට මෙහෙයා, සාරාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයකින් ඒ මුහුද පුරා උතුරුවාගෙන දන් සිල් නමැති නැවෙහි ඉඳ සිත් සේ ධ්‍යාන සුවයෙන් නිවන් කෙළියට පටන් ගතිමි”යි වදාරා මෙසේ ස්වාමිදරුවෝ විසිතුරු වූ ගාථා දහසකින් ප්‍රතිමණ්ඩිත වූ මේ බුද්ධවංශ දේශනාව ගෙන හැර දක්වා වදාරා:

න මෙ දෙස්සා උභො පුත්තා - මද්දිදෙවි න දෙස්සියා,

සබ්බඤ්ඤුතං පියං මය්හං - තස්මා පියෙ අදාසහං,

යනාදි වශයෙන් චර්‍ය්‍යාපිටකයෙන් මේ බුද්ධවංශ දේශනාව නිමවා වදාළ සේක.

මේ දේශනාවගේ කෙළවර අසඞ්ඛ්‍යයක් දෙවියෝ සෝවාන් පෙළෙහි පිහිටියහ. අසඞ්ඛ්‍යයක් දෙවියෝ සෙදගැමි පෙළෙහි පිහිටියහ. අසඞ්ඛ්‍යයක් දෙවියෝ අනගැමි පෙළෙහි පිහිටියහ. කෙළ ලක්‍ෂයක් දිව්‍යබ්‍රහ්මයෝ අමාමහ නිවන් දැක සසරසයුරෙන් ගොඩනැංගාහ.

තව ද මෙසේ බුද්ධවංශදේශනාව නිමි කල දම් සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ දේවතාවන්ගේ ධම්මලෝභය තව නුසුන් සේ දැක සිවුර එකාංශ කොට බහාගෙන චක්‍රවර්ති රජක් ඉදිරියෙහි ප්‍රේම වඩා යන පරිණායක පුත් රුවනක් සේ පියවරක් පියවරක් ඔසවා ගොස් බුදුන්ට මඳක් ළං ව නමනව සිට දෝත් මුදුනෙහි තබා “මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෙනි, නුඹ වහන්සේගේ මේ විශේෂ වූ දේශනාව අසා මාගේ ද, සියලු සතුරන්ගේද, සියලු කාංක්‍ෂාවෝ දුරුව ගියහ. තව ද නුඹවහන්සේ ම විසින් ‘මතු මෙ කප මෛත්‍රෙය නම් බුදුකෙනෙකුන් උපදිති’යි වදාරණ ලද, ඒ මෛත්‍රෙය නම් බුදුහු කවර කලෙක උපදිත් ද, කෙසේ වූ බුද්ධශ්‍රී ඇතියාහු ද, ඒ විශේෂයෙන් අසනු කැමැත්තෙමි”යි ආරාධනා කළසේක. කීයේ මැනෝ:

සාරිපුත්තො මහා පඤ්ඤො - උපතිස්සො විනායකො,

ධම්ම සෙනාපති ධීරො - උපෙත්‍වා ලොකනායකං

.

අනාගතං ජිනාරම්භ - ආපුච්ඡි කඞ්ඛමත්තනො,

තුම්හානන්තරිකො ධීරො - බුද්ධො කීදිසකො භවෙ,

විත්‍ථාරෙනෙ‘ව‘හං සොතුං - ඉච්ඡාමා‘චික්ඛ චක්ඛුමා - යි.

අනාගත වංශ දේශනා

මෙසේ ධම් සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් ආරාධිත වූ බුදුහු මහා වර්ෂාවක් පිට වර්ෂාවක් වස්වන්නා සේ නැවත අනාගතවංශ දේශනාවට පටන්ගත් සේක්:- “ශාරිපුත්‍ර ස්ථවිරය, මේ මාගේ කරුණා ශාසනය මා නැති පන්දහසක් හවුරුදු නො නැසී සිටිනේ ය. එයින් මත්තෙහි ලොව අබුද්ධෝත්පාද වන්නේය. සත්ත්‍වයන්ගේ ආයුසංස්කාරය අකුශලයන් උත්සන්නභාවයෙන් ක්‍රමයෙන් පිරිහී දසහවුරුද්දට ආයු වෙයි. එකල සත්ත්‍වයෝ තිරිසනුන් වැනියහ. මවුපියෝ යයි වෙනසක් නො දනිති, නැගනියෝ ය, බුහුනනියෝ ය, මයිලනුවෝ ය, බෑනනුවෝ ය, පුතණුවෝ ය, දියණියෝ ය, යනාදි ව්‍යවහාරයෙක් නැති ව තම තමන් කෙරෙහි ම ප්‍රේම කෙරෙති. පස්මැසිකුමරුවන්ට පස්මැසි කුමරියන් ශරණ පාවා දෙති. සියලු රස ම අන්තර්ධාන වෙයි. හැල් වී අන්තර්ධාන වෙයි. වරාසලේ බත් රජදරුවන්ට අග්‍ර භෝජන වෙයි. මෙසේ ලොව සියලු දෙයින් ම හීන වූ කල ත්‍රිවිධ වූ අන්තඃකල්පයන් අතුරෙන් දැන් සත්ත්‍වයාගේ ද්වේෂය උත්සන්න වීම හේතු කොටගෙන ශස්ත්‍ර අන්තඃකල්පයෙන් ලොව විනාශ ය වෙයි. හේ කෙසේ ද? යත්;

අන්තඃකල්පය නස්නට පළමු ව සත්වන දවස කාමාවචර දේවතා කෙනෙක් අවමගුල් වෙසක් ගෙන “සත්ත්‍වයෙනි! මෙයින් සත් දවසක් ගිය කල මෘගසංවර්ෂාව ය යි යන විනාශකර වූ මහ වැස්සෙක් සත් දවසක් ධාරානිපාතයෙන් වස්සි, එහි තෙමුනු කෙනෙක් ඔවුනොවුන් ඇසට මුවන් සේ පෙනී ඔවුනොවුන්ගේ ජීවිත විනාශ කෙරෙති. දිවි රක්නා කෙනෙක් ඒ සත්දවසට දිය දර බත් පැන් සහල් ලුණු ඇඹුල් රැස්කොට තබාගෙන ගල්ගුහා පර්වතගුහා ආදියට වැද දිවි රකුව”යි කිය කියා කෙළ ලක්‍ෂයක් සක්වල ඇවිදිති. එ බස් අසා සත්ත්‍වයෝ තමන් අඥාන හෙයින් “ඒ දුටුවෝ කවුරුද? ඇසුවෝ කවුරුද? දැක ආවෝ කවුරු ද? එ නම් කුමන බසෙක් දැ? යි නො ගිවිස සිනාසෙති. සමහර නුවණැ‘ති කෙනෙක් කවුරු දනිත් දැ? යි දෙවියන් කී සැටියේ ම ගල්ගුහා ආදියෙහි දෙදෙනෙක් ඔවුනොවුන්ට නො පෙනෙන සේ හිඳිති.

එ කල මෘගසංවර්ෂාව කෙළලක්‍ෂයක් සක්වල මුළුල්ලෙහි එක පැහැර ධාරානිපාතයෙන් වස්නට පටන් ගන්නි. පොද බින්දුවෙකිනුත් තෙමුනා වූ යම් කෙනෙක් ඔවුනොවුන් ඇසට මුවන් සේ පෙනෙති. කොල! තෙල මුවා ගනුව, මරව හනුව. හසුකරවයි කිය කියා ඔවුනො‘වුන් ලුහුබඳවා ගනිති. තණපත් පරඬලාපත් සියුම් මුවහත් ඇති කඩුපත් සේ මැවී යෙයි. එ කල සත්ත්‍වයෝ ඒ සත් දා මුළුල්ලෙහි මෙසේ ඔවුනොවුන් මරා එක මස් කලවිටක් සේ කොට ලොව ලෙහෙ මුහුදු කෙරෙති. ඉක්බිත්තෙන් වැසි හළ කළ ජීවත් වූ කෙනෙක් එළිබැස මළ මළ නෑයන්ගේ පොලුගෙන තිබෙන අතුල් පතුල් ඉස් කන් නාසාදි වූ ඇඟ මස් දැක “අපගේ නෑයෝ අප කියමන් නො ගෙන හැමදෙන ම දැන් නටහ”යි මහත් වූ කරුණා උපදවා “අපි සැම ජීවත් වූ පමණෙක් ඔවුනො‘වුන්ගේ ආත්ම රක්‍ෂාවෙහි අප්‍රමාද වම්හ”යි ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රී ඇතිව ‘මෙතැන් පටන් ප්‍රාණඝාත නො කරමි’යි පළමුකොට පාණාතිපාතය දුරු කෙරෙති. ඒ කුශලයෙන් ඔවුන් වැදූ දරුවන්ට විසි හවුරුද්දට ආයු වෙති. ඔහු දෙවනු ව අදත්තාදානය හැර පියති. උන් වැදූ දරුවන්ට තිස් හවුරුද්දට ආයු වෙයි. තුන්වනුව පරදාරය හැර පියති. උන් වැදූ දරුවන්ට සතළිස් හවුරුද්දට ආයු වෙයි. සතරවනුව මුසාවාදය හැර පියති. උන් වැදූ දරුවන්ට පනස් හවුරුද්දට ආයු වෙයි. පස්වනුව පිසුනාවාචය හැර පියති. උන් වැදූ දරුවන්ට සැට හවුරුද්දට ආයු වෙයි, මෙම ක්‍රමයෙන් දශවිධ වූ අකුශල ධර්මයන් හැර දශවිධ වූ කුශල ධර්මයෙහි පිහිටා යෙති. ඒ කුශල ධර්මයන්ගේ ම ආනුභාවයෙන් ක්‍රම ක්‍රමයෙන් වැඩී දෙසියයක් හවුරුද්දට ආයු වෙයි. එ කලට දඹදිව ඉතා සමෘද්ධව බරණැස්නුවර නම් නො පෙරළී එ නමින් ම ව්‍යවහාර වෙයි.

තව ද එයින් මත්තෙහි කුශල ධර්මයන් වැඩි වැඩි සේම සත්ත්‍වයන්ගේ ආයු ක්‍රම ක්‍රමයෙන් ම වැඩී අනූ දහසක් හවුරුද්දට ආයු වෙයි. එ කල බරණැස් නුවර නම් පෙරළී උත්පල නම් නුවරෙක් වෙයි. එ නුවර දිගින් පුළුලින් යොදනක් පමණ මහත් ව සමෘද්ධ වෙයි. එයින් මත්තෙහි තව ද ආයු ක්‍රම ක්‍රමයෙන් වැඩී ලක්‍ෂයක් හවුරුද්දට වූ කල උත්පල නම් නුවර නම් පෙරළී අයම් විතරින් සත් යොදුන් පමණ ඇති පදුම නම් නුවරෙක් වෙයි. තව ද වඩ වඩා කුශල ධර්මයන්ගේ ම බලයෙන් අසඞ්ඛ්‍යයක් හවුරුද්දට ආයු වෙයි. එ කල පදුම නම් නුවර නම් පෙරළී දොළොස් යොදුන් අයම් විතර ඇති මන්‍දාර නම් නුවරෙක් වෙයි. ඒ අවධියට මිනිස්ලොව දෙව් ලොවට ත් වඩනේ ය, උපන් කල් නො දනිති, මියන කල් නො දනිති, ජරා විලි පිලි නො දනිති, රෝගන්තරා ය නැත.

මෙසේ සුව විඳීම හේතුකොට ගෙන දුක් නම් කෙසේ බවත් නො දැන සත්ත්‍වයෝ කුශල් කිරීමෙහි ප්‍රමාද වෙති. ඒ අකුශලයෙන් ආයු පරිහාණියට පැමිණ ක්‍රම ක්‍රමයෙන් අසූදහසක් හවුරුද්දට ආයු වෙයි. එ කලට මන්‍දාර නම් නුවර නම් පෙරළී කේතුමතී නම් රාජධානියෙක් වෙයි. වදාළේ මැනෝ‍:-

තදා කෙතුමතී නාම - රාජධානි භවිස්සති,

ද්වාදස යොජනායාමා - සත්තයොජන විත්‍ථාතා - යි.

තව ද සාරිපුත්‍ර ස්ථවිරය, එ නුවර දිගින් දොළොස් යොදුන. පුළුලින් සත් යොදුන. අවටින් අටතිස් යොදුන. අන්තයෙහි පොළොව පළා නැගි සත්රුවන් පවුරු සතෙක් මැවී නුවර සිසාරා සිට දිව රෑ වෙනසක් නො දක්වා ප්‍රභාවත් කෙරෙයි. එහි අන්තරන්තරයෙහි රිදීමය වූ කඳ ඇති, ඉන්‍ද්‍රනීල මාණික්‍යමය වූ පත් ඇති, ඝනරන්මය වූ ඵල ඇති, තාලවෘක්‍ෂ පඞ්ක්තීහු සත් වළල්ලක් ව වටින් වට ගසා සිට ගනිති. සතර දිශාවෙහි සත්රුවන් ම ය වහසල් සතරෙක් මැවී සත් සත් මහල් ඇති ව, දිවා රෑ වෙනසක් නො දක්වා නුවර අලඞ්කාර කෙරෙයි. ඒ සතර වාසල්දොර කප්රුක් සතරෙක් පොළොව පලා ගෙන පැන නැඟී නන් විසිතුරු වූ සම්පත්තීන් සැදී සිටී. මුළු දඹදිව සත්ත්‍වයන් කැමැති කැමැති වස්ත්‍රාභරණ ඉන් එක කප්රුකෙකින් ගෙන යත්. ඒ අසූදහසක් අවුරුදු මුළුල්ලෙහිත් ඇද නිමවාගත නො හැක්ක. තව ද එ නුවර බැඳ පැන නැගී සත්රුවන් ම ය වූ ශාලාවෙකු දු ඇත. ඒ ශාලාවට සතර දිග ද කප්රුක් සතරෙක් මැවී තිබෙයි. ඒ කේතුමතී නම් රාජධානියෙහි දණ්ඩෙන් පතින් කළ ගෙයෙක වසන්නා වූ එක ද සත්ත්‍වකෙනෙක් නැත. සත්රුවන් ගෙවල ම වාසය කෙරෙති. දිව්‍යමය වූ උයන් හා දිව්‍යමය වූ පොකුණින් ගැවසී ඇත.

එ කල ඒ සා දඹදිව මුළුල්ලෙහි සත්ත්‍වයන් කෙරෙන් සාන වපුරණ කෙනෙක් වෙළෙඳාම් නවාම් කරන කෙනෙක් බඩ නිසා දුක් ගන්නා වූ එක ද මනුෂ්‍ය කෙනෙක් නැත. පොළොව පළා ගෙන ස්වයං ජාත වූ රත් හැල් පැන නැගෙයි. කරල්වල කුඩු තෝ නැතිව මුතුදැල් සේ සාල් ගෙන තිබෙයි. එකබිජුවටක් හුනුතෙනින් නැගි පඳුරෙන් කරල්කඩා මැඩගත්කල දෙදහස් දෙසිය දෙසැත්තෑ ගැල් පුරා සොළොසාමුණු අටළොසක් සාල් ඉතිරි වෙයි. ඒ සාල් මැණික් බඳනෙහි ලා මැණික් උදුනෙහි දී පැසවා ඇම සත්ත්‍වයෝ ම අනුභව කෙරෙති. සත්ත්‍වයන් මළ මුත්‍ර වහනය කරම්හ යි සිතු වේලෙහි නිල් වලාකඩෙක් දිවගෙන අවුදින් තිරයක් සේ සිසාරා සිටගනිති. එකෙණෙහි පොළොව පැළී මහ වළෙක් මැවී යෙයි. එහි ශරීරාධානය කළ කල එ වල අන්තර්ධාන ව පැන් පොකුණෙක් මැවී යෙයි. එයින් උදකකෘත්‍ය ය කළ කල ඒ වලාකඩ අන්තර්ධාන වෙයි. එ සමයෙහි ඒ කේතුමතී නම් රාජධානිය දිව්‍යපුරයක් වැන්න.

තව ද ශාරිපුත්‍ර ස්ථවිර ය, පෙර දිඹුල්දණ්ඩෙන් ගෙයක් නඟ වස් වස්වා පින් කළ කුළුපතු - දෙපුතු පියන් අතුරෙන් පුතණුවෝ මාගේ ශාසනයෙහි භද්දිය නම් සිටු ව නිවන් දකිති. පියාණෝ තමන් කළ පින් නුමූ කළ හෙයින් මේ බුද්ධාන්තරය මුළුල්ලෙහි සදෙව්ලොව සැරිසරා ඇවිද එ කල ඒ කේතුමතී නම් රාජධානියෙහි සඞ්ඛ නම් චක්‍රවර්තී රජ ව උපදනාහු ය. ඒ රජහු පෙර කළ ආවාස දානයාගේ කුශලයෙන් පෙර මහාපනාද රජ්ජුරුවන් අසඞ්ඛ්‍යයක් හවුරුදු හිඳ රාජ්‍යය කළ පස්විසි යොදුන් උස ඇති, සියල් මහල් ඇති, සුවාසූ දහසක් රුවන් ගබඩා ඇති, ඉඳුනිල් මිණිමය වූ බිම් ඇති, ඝනරන්මය වූ ටැම් ඇති, රිදීමය වූ කොතුරු හා පේකඩ ඇති ප්‍රවාලමය වූ ව්‍යාඝ්‍ර පඞ්ක්ති ඇති, රන්මය වූ පලසෙවෙනි ඇති පස්විසි යොදුන් ඒ පාය ආකාශයට පැනනැගී දෙවන සඳක් සේ අවුදින් නුවර මැද පිහිටා යෙයි. චක්‍රරත්නය, මාණික්‍යරත්නය, හස්තරත්නය, අශ්වරත්නය, පරිණායකරත්නය, ගෘහපතිරත්නය, ස්ත්‍රීරත්නය යි යන සත්රුවන ද පහළ වෙයි. එ රජ තමා හා සම බල දහසක් පුතුන් ඇති වෙයි. ආකාශයෙන් යන සෘද්ධි ඇති වෙයි. සඳුන් සුවඳ වහන ශරීර ඇති වෙයි. මහනෙල් මල්සුවඳ මුඛ ඇති වෙයි. දෙවියෝ සතර දෙනෙක් සතර දිග කඩුගත් අත් ඇති ව රකවල් ගෙන සිටිති. සතර මහාද්වීපයෙහි මහසෙන් සමග එකදා ඇවිද සියලු සතුන්ට පන්සිල් රකුව යි අදවාද කියා දවල් බතට සිය නුවරට එයි.

මෙසේ ඒ සඞ්ඛ නම් චක්‍රවර්තීති රජ දිඹුල්දඬු ගෙයි පිනින් ඒ සා මහ පායක් ලබයි. එ ගෙයි ලා ලූ එක ඇඳෙහි පිණින් සුවාසූ දහසක් යහන් ලබයි. එක ඇතිරියෙහි පිනින් සුවාසූ දහසක් ආස්තරණ ලබයි. බැලමෙහෙ කොට දුන් දානයෙහි පිනින් දිව්‍යභෝජන ලබයි. ඒ ගෙයි ලාලූ එක පීඨයෙහි පිනින් සුවාසූ දහසක් සිංහාසන ලබයි. එ කල සමසිතින් දන් පිසූ ස්ත්‍රිය ප්‍රධාන කොට සුවාසූ දහසක් බිසෝවරුන් පිරිවර යි. ඒ පන්සල වටා වැට කරවාලු පිණින් නුවර වටා සත්රුවන් පවුරු සතක් ලබයි. වෙහෙර වටා හිඳුවාලූ තල්පෙළෙහි අනුසසින් සත්රුවන්මය වූ තල්ගස් නුවර සිසාරා සත්වළල්ලෙකින් ඵලගෙන සිට ගනිති. සත්වසක් වස් වැස් වූ පිනින් සත්රුවන් ලබයි. වස් අන්තයෙහි නො වරදවා දුන් වස්වාසික සිවුරු පිළියෙහි පිනින් ඒ සා මහත් කප්රුක් ලබයි. මෙසේ සඞ්ඛ නම් චක්‍රවර්ති රජ එ කල ඒ කේතුමතී නම් රාජධානියෙහි ශක්‍රයා සේ සුව විඳිනේ මැ යි. වදාළේ මැනෝ:-

සඞ්ඛො නාම සො රාජා - අනන්තබලවාහනො,

සත්තරතන සම්පන්නො - චක්කවත්තී මහබ්බලො - යි.

තවද ශාරිපුත්‍ර ස්ථවිරය, ඒ මෛත්‍රෙය බුදුහු පෙර මුහුර්ත නම් බුදුකෙනකුන් සමයෙහි ප්‍රභාවන්ත නම් චක්‍රවර්ති රජක් ව මාසේ ම අෂ්ටාඞ්ග ධර්මයෙන් යෙදී ප්‍රථමාභිනිහාරය ලදින්, එ තැන් පටන් සොළොසාසඞ්ඛ්‍ය කප්ලක්‍ෂයක් පැරුම් පුරා එදෑතුරෙහි බුදුවූ දහස් ගණන් බුදුන් අතින් මා සේ ම විවරණ ලදින් කෙළවර විශ්වන්තරාත්ම වන් ජාතියෙන් සැව ගොස් තුසීපුරයෙහි ඉපද එතැන් පටන් මේ බුද්ධාන්තරය මුළුල්ලෙහි දිව සුව විඳ එ කල දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මයන්ගේ ආරාධනා ඉවසා පස්බැලුම් බලා බ්‍රාහ්මණවංශය උතුම් සේ දැක කේතුමතී නම් රාජධානියෙහි සඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ට අග්‍ර පුරෝහිත වූ සුබ්‍රහ්ම නම් බ්‍රාහ්මණ මහාසාරයාණන්ගේ බ්‍රහ්මවතී නම් බැමිණිදේවීන් කුස පිළිසිඳ දසමස් පුරා වැස දසදහසක් සක්වළ දෙවිබඹුන් මධ්‍යයෙහි මෛත්‍රී පිඬක් සේ මසබ්‍රහ්මයා අතට බිහිව අජිත නම් කුමාරව තරු පිවරු සඳක් සේ වැඩ දොළොස් දොළොස් ගවු උස ඇති සිරිවඩ්ඪක වූ වඩ්ඪමාණකය-සිද්ධාර්ථය-චන්‍ද්‍රකයයි යන සත්රුවන්මය වූ තුන් සෘතුවට වෙන වෙන තුන් පායෙක් වෙයි.

එකි එකී පායෙක්හි සත් සත් මහල; එකි එකී මාලෙක්හි ලක්‍ෂයක් ලක්‍ෂයක් කුළුගෙවල. එකි එකී පායට සත් සත් රුවන්, පවුරු ය. සත් සත් රුවන් වාසල. එ තුන් පායෙහි පසඟ තුරු රැවු විහිදුනා රන් රසුදැල් එල්වා තිබෙයි. මුදුනෙහි සත් රුවන්මය වූ ධ්වජ නඟා තිබෙයි. ඒ ධ්වජ කකුල්වල බඳනාලද රන්මිණි ඝෝෂයෙන් නුවර එකනින්නාද වෙයි. ඒ ප්‍රාසාදයන් තුන් දෙනාගේ භිත්ති සත්රුවන්මය වූ තාල පඞ්ක්තිය, මකරපඞ්ක්තිය, සිංහ පඞ්ක්තිය, ව්‍යාඝ්‍ර පඞ්ක්තිය, හස්ති පඞ්ක්තිය, අශ්ව පඞ්ක්තිය, රථ පඞ්ක්තිය, මයුර පඞ්ක්තිය, හංස පඞ්ක්තිය යනාදි නිර්මිත වූ කර්මාන්තයෙන් ශෝභමානය. දවස් පතා මල්වැසි වස්නේය. එකි එකී මාලෙක සත්සියක් සත්සියක් රුවන් ගබඩා ය, සත්සීයක් සත්සීයක් සිංහාසනය, සත්සීයක් සත්සීයක් සේසත, සත්සීයක් සත්සීයක් යහන, එකී එකී පාය සිසාරා පිරිවරා ඡද්දන්ත නම් හස්තිරාජයා ප්‍රමුඛ වූ සත් දහසක් සත් දහසක් මඞ්ගල හස්තීහු සැරහී සිටිති. වලාහක අශ්වරාජයා ප්‍රමුඛ වූ සත් දහසක් සත් දහසක් අශ්වයෝ සැරහී. සත්රුවන් ධ්වජ නැගූ හිරුමඬල සඳමඬල වැනි වූ සත් දහසක් සත් දහසක් රථපඞ්ක්ති සරහා එකි එකී මාලෙහි සත් දහසක් සත් දහසක් නාටක ස්ත්‍රීහු සැරහී සිටිති.

මෙසේ මහත් වූ ශ්‍රීවිභූතීන් ඒ මෛත්‍රෙය නම් බෝධිසත්ත්‍වයෝ මෙසේ වූ තුන් පායෙහි තුන් සෘතුවෙහි වෙසෙති. සඞ්ඛ නම් චක්‍රවර්තී රජ්ජුරුවන් ආදි වූ දඹදිව සුවාසූ දහසක් රජදරුවෝ මඟුල් කඩු ගෙන බෝසතුන් කරා අවුදින් හිමි නුඹට සේවය කරම්හ යි කියති. මාගේ පර්ෂද් බෙහෙව. තොපි තොපගේ රාජ්‍යශ්‍රී ම විඳුවයි යවන්නාහු ය. කැටි ව දෙව්ලොව සිට අවුදින් එක දා උපන් අටළොස් කෙළක් අමාත්‍යයෝ නිති ම ඒ බෝසතුන්ට ආරක්‍ෂා ගෙන සිටිති.

මෙසේ ඒ අජිත නම් මෛත්‍රෙය බෝසතාණෝ බුදු මුඛයකිනුත් කියා නිමවා ගත නො හැක්කා වූ මහත් වූ ශ්‍රී සම්පත් විඳ අටදහස් හවුරුදු ගිහිගෙයි වැස තුන් පූර්වනිමිත්ත දැක සසර කල කිරී සතරවනුව දෙවියන් මවා පෑ තපස්වෙස දැක මහණවනු කැමැති ව චන්‍ද්‍රමුඛී නම් අගමෙහෙසි දේවිය බ්‍රහ්මවර්ධන නම් පුත් රුවන වැදූ දා මහණවෙමි යි සිතා එ කෙණෙහි ම එම රුවන්පායෙහි ම පලක් බැඳ මතු මාල්තෙලෙහි ඉඳ සත් දවසක් දුෂ්කරක්‍රියා පුරන්නාහු ය. එ වේලෙහි සඞ්ඛ නම් චක්‍රවර්තී රජ්ජුරුවෝ සුවාසූ දහසක් රජුන් හා සුවාසූ දහසක් බිසෝවරුන් පිරිවරා පූජාභාණ්ඩ ගෙන පාය සිසාරා එ සද්දා ම අරක්ගෙන සිටිනාහුය. එසේ ම දසදහසක් සක්වළ දෙවියෝ ද දිව්‍ය පූජාභාණ්ඩ ගෙන අහස්කුස පුරා සිටිනාහුය.

මෙසේ සත් දවසක් දුෂ්කරක්‍රියා පුරා කිසිකෙනකුන් හා මුවෙන් නො බැන කිසි කෙනෙකුන් මුහුණ නො බලා දවස් යවූ කල ඇම බුදුන් බුදුවන වෙසග මැදි පොහෝදා මහබිනික්මන් කෙරෙමි යි සිතූ ක්‍ෂණයෙහි ඒ රන්පාය සත්පවුරු සත්දොරටු පිරිවරා සිටි ම සෙනඟ සමගින් ආකාශයට පැන නැගී බෝමැඩ දිශාවට නික්මෙයි. කැටි ව මහණවනු කැමැති සියලු සත්ත්‍වයෝ ම සිටි සිටි පලින් ආකාශයට පැනනැගි පියුම් විලකට දිවන රාජහංස පෙළක් සේ යෙති. මෙසේ මහත් වූ පුණ්‍යප්‍රභාවෙන් ගොස් එ රන්පාය මහ සෙනඟ හා බෝසතුන් ගෙන බෝමැඩ කරා බස්සී. එ කෙනෙහි මඟුල් කඩුව විදුලියපතක් සේ හයා කෙස්වැටිය කපා ආකාශයට දමා මහබඹුන් දුන් සිවුරු පිළිගෙන මහණ වෙති.

තව ද: මේ බුද්ධෝත්පාදයෙහි පින්කොට ප්‍රාර්ථනා කළා වූ ස්ත්‍රී-පුරුෂයෝ බොහෝදෙන එම විට ම මහණ වෙති. චතුර්වේදයෙහි නිපුණ වූ බ්‍රාහ්මණයෝ සුවාසූදහසක් එ ම විට ම මහණවෙති. තව ද: මේ ශාසනයෙහි පින්කළ ඉසිදත්ත ය - පුරාණය යි යන දෙබෑ කෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පිරිස් ගෙන මහණ වෙති. තව ද: ජිනමිත්‍ර ය - අජිතමිත්‍ර ය යි යන පණ්ඩිතවරු දෙදෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පර්ෂද් ගෙන මහණ වෙති. තව ද: මේ ශාසනයෙහි පින්කළ සිද්ධාර්ථ නම් සිටාණ කෙනකුන් හා සුනන්‍දා නම් සිටුදියණි කෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පුරුෂ ස්ත්‍රීන් හා සමග මහණ වෙති. තව ද: මේ ශාසනයෙහි පින් කළ සඞ්ඝ නම් උපාසක කෙනකුන් හා සඞ්ඝා නම් උපාසිකා කෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පුරුෂ ස්ත්‍රීන් හා සමග මහණ වෙති. තව ද: මේ ශාසනයෙහි පින්කළ යශවතී ය - විශාඛා ය යි යන යෙහෙළියෝ දෙදෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් ස්ත්‍රීන් හා සමග මහණ වෙති. අවශේෂ වූ රජ - බමුණු - වෙළඳ - ගොවි ලක්‍ෂ ගණන් එමදා ම මහණ වෙති.

ඉක්බිත්තෙන් බෝධිසත්ත්‍වයෝ මහණවෙලා ඒ චන්‍ද්‍රමුඛී නම් අග්‍ර දේවීන් දුන් කිරිපිඬු වළඳා එම දා ම සවස අපරාජිත ස්ථානයෙහි පැනනැඟි විදුරසුන් නැඟී නාග ශ්‍රී බෝධියට පිටකලා හිඳිනාහු ය. ඒ නාග ශ්‍රී බෝධි ය නම්: රිදීකඳක් සේ සමවට වූ කඳ ය. එක්සිය විසි රියන් උස ය. පඤ්ච මහාශාඛාවෝ ද එක්සියවිසි එක්සියවිසි රියන් උස ය. මුල පටන් අග දක්වා දෙසිය සතලිස් රියන් උස ය. පූර්ව ශාඛාග්‍රය පටන් පශ්චිම ශාඛාග්‍රය දක්වා දෙසිය සතළිස් රියන. උත්තර ශාඛාග්‍ර ය පටන් දක්‍ෂිණ ශාඛාග්‍ර ය දක්වා දෙසිය සතළිස් රියන. ශාඛාමණ්ඩල ය වටින් සත්සියවිසි රියන. ඉඳු නිල්මිණි සේසතක් සේ ඇමදා ම ශෝභාවත් ව තිබෙයි. ඇමදා ම විලික්‍ෂ ව වැගිරෙන පතෙකු දු නැත. මුහුකළ පත් ඉන්‍ද්‍රනීල මාණික්‍යම ය. අසු අස්සෙහි ලිය හා අඞ්කුර ප්‍රවාලමය ය. එ කෙණෙහි ම නාග ශ්‍රී බෝධිය මුල පටන් අග දක්වා මලින් සැදී සිටිනේ ය. දොළොස් නැළියක් පැන්ගන්නා පමණ කැකුළු වෙයි. පිපි මල් මහ ගැල් සක පමණ වෙයි. එකි එකී මලෙක්හි නැළියක් පමණ රේණු වෙයි. එදා පිපි මල් අසූදහසක් හවුරුදු පර නොවී තිබී ඒ බුදුන්ගේ පරිනිර්වාණය හා සමග හැම මල් පරව නටුවෙන් ගිලිහී පෙත්තකුත් බිම නොහී ආකාශයෙන් ගොස් දර සෑයෙහි ම වැගිර බුදුන් හා සමග ආදාහන වෙයි.

තව ද: බෝමැඩ සිසාරා වටින් දෙගවු දෙගවු පමණ තෙන සත් රුවන් වැලි පැන නැගී තැනී තිබෙයි. එ ව සත්රුවන්මය වූ පවුරෙක් වෙයි. එයින් පිටත වට දොළොස් දොළොස් ගවු පමණ තෙන නන් විසිතුරු වූ සුවඳ මල්ගස් සමූහයෝ ඇමදෙන ම ඒ නාග ශ්‍රී බෝධියට වැඳුම් ගෙන එක්පඞ්ක්තින් සිටිනාහු ය.

මෙසේ ඒ මෛත්‍රෙය බුදුහු තමන් සොළසාසඞ්ඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි පිරූ උග්‍ර වූ පාරමිතාවන් ගේ මහිමයෙන් ම ලබන ලද මෙ බඳු වූ නා සිරි බෝ පිටලා අට පනස් රියන් විදුරසුන් නැඟී චතුරඞ්ග වීර්‍ය්‍යාධිෂ්ඨානයෙන් දසදහසක් සක්වළ දෙවිබඹුන්ගෙන් පූජා විඳ විඳ හිඳිනාහු ය. එ කෙණෙහි වසවර්තීතිමාරයා මහත් වූ මරසෙනඟ ගෙන ‘ඔහු අද බුදු විය නොදෙමි. දෙ කකුල ගෙන පරසක්වළ ගසමි’යි කිපී දිව සක්වළ මුවවිට සිට ඒ මෛත්‍රෙය නම් බුදුන්ගේ මෛත්‍රීපිඬක් බඳු වූ ශ්‍රී මුඛය දැක ළංවිය නො හී භයින් වෙවුලා පැරද දිවපී ය යි. මෙසේ මරසෙන් බිඳ එදා රෑ අලුයම් වේලෙහි ලොවුතුරා බුදු ව අනන්තාපරියන්ත වූ සක්වළට බුදුරස්කඳ විහිදුවති.

තව ද: ශාරිපුත්‍ර ස්ථවිරය, ඒ මෛත්‍රෙය නම් බුදුහු අශෝකය-බ්‍රහ්මදේවය යි යන අගසවු දෙදෙනකු හා සමග මහත් වූ ශ්‍රාවක ගණයා ඇතියහ. ඇමදා ම දිවා රාත්‍රියෙහි පස්විසි යොදනෙක පවත්නා බ්‍යාමප්‍රභා මණ්ඩලය ඇතියහ. තව ද: ඒ මෛත්‍රෙය බුදුන්ගේ බුද්ධකාය අටඅසූ රියන් උසය; ශ්‍රීපාදයෙහි පටන් දන මඬලට දෙවිසි රියන් උස ය. දණමඬල පටන් නාභිමණ්ඩලයට දෙවිසි රියන් උස ය. නාභිමණ්ඩලයෙහි පටන් අකුධාතුවට දෙවිසි රියන් උස ය. දකුණු උරමඬලෙහි පටන් වම් උඩමඬලට පස්විසි රියන් පළලය. විදුලිය දෙකක් වන් කන්පට දෙක සත් සත් රියන. එකී එකී ඇස දිග පස් පස් රියන. දෙව්දුනු දෙකක් වන් බැම සඟල පස් පස් රියන. දෙබැම අතුර පස් රියන. නාසිකාව සත් රියන. සුරක්ත වූ තොල් සඟල පස් පස් රියන. සුරකත වූ දිව දස රියන ශිරෝ ධාතුවෙහි වට පස්විසි රියන. රන්වන් වූ ශ්‍රී මුඛමණ්ඩලය පස්විසි රියන් වට ය. රන් මහිඟක් සේ වට වූ ග්‍රීවා ධාතුව පස් රියනක් උස ය. රන්වන් වූ ශ්‍රි හස්ත දෙක සතළිස් සතළිස් රියන එකි එකී අතුල් පස් පස් රියන. ශ්‍රීපාද දෙක තෙළෙස් රියන් එක් වියත් සාඟුල් පමණ දිග ඇත්තේ ය.

මෙසේ ශ්‍රීමත් වූ බුද්ධකායෙකින් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාදි වූ අප්‍රමාණ වූ ධර්මදේශනා කොට සියලු සතුන් සංසාර සාගරයෙන් ගොඩනඟා ඒ මෛත්‍රෙය බුදුහු අසූදහසක් හවුරුදු ආයුශ්‍රී වළඳා හිඳිනාහු ය. එ කල සඞ්ඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවෝ තමන්ගේ පස්විසි යොදුන් රන් පාය සඞ්ඝාරාමයක් කොට බුදුන්ට දන් දී සියලු චක්‍රවර්ති රාජ්‍යය බුදුන්ට පුදා පෙර තමන් දිඹුල් දණ්ඩෙන් ගේ නඟා වස්වස්වා කළ පින්බලයෙන් ම කැටි ව පින් කළ ස්ත්‍රිය හා සමග නවකෙළ දහසක් අමාත්‍ය්‍යන් ගෙන බුදු සසුන් වැඳ මහණ ව අමාමහ නිවන් දක්නාහු ය.

මතු බුදුවන ඒ මෛත්‍රෙය නම් බුදුන් නො දක්නො කවුරුද දැක සසරින් ගැලවෙන්නෝ කවුරුදැ?යි යත හොත් මවුන් මැරුවෝ ය, පියන් මැරුවෝ ය, රහතන් මැරුවෝ ය, බුදුන් ඇඟින් ලේ සෙල්වූවෝ ය, සඞ්ඝභේදකළෝ ය යි මේ පඤ්චානන්තරිය කර්ම කළා වූ සත්ත්‍වයෝ ඒ එන මෙතේ බුදුන් දැක්ක නොහෙත් ම ය. දාගැබ් බිඳ බෝධි ශාඛා කපා රන්පිළිම පොතු උපුටා බණ පොත් සිඳ මේ පව්කිරීම හා ආනන්තරිය කර්මයට ඇතුළු වන හෙයින් ඔහුත් ඒ බුදුන් නො දකිත් ම ය. සඞ්ඝයා වහන්සේට ආක්‍රොශ පරිභව බිණුවා වූ සත්ත්‍වයෝ ද, සිල්වතුන්ට බොරුවෙන් වත් දොස් ඉපද වූ සත්ත්‍වයෝ ද, ධර්මයට අනාදර බිනූ සත්ත්‍වයෝ ද, යන මොහු ත් ඒ බුදුන් දැක්ක නො හෙත් ම ය. දන්වැට කෑවෝ ද, කුසලාන් ගසා කෑවෝ ද, බුදුන් සතු දෙය කෑවෝ ද, ධර්මය සතු දෙය කෑවෝ ද, සඟ සතුදෙය කෑවෝ ද යන මොහුත් ඒ බුදුන් දැක්ක නොහෙත් ම ය. මේ බුද්ධෝත්පාදයෙහි අලු ගා මිථ්‍යාදෘෂ්ටි ගෙන මෙලෝ පරලෝ නැතැ යි ඇවිදුනා සත්ත්‍වයෝ ද ඒ බුදුන් දැක්ක නො හෙත් ම ය. හිරසඳ දෙවියන්ට ද, වැසිවලා දෙවියන් ට ද, දෙස් කළා වූ සත්ත්‍වයෝ ද ඒ බුදුන් දැක්ක නොහෙත් ම ය. නරක-තිරිසන්-අසුර යන තුන් අපායෙහි උපන්නා වූ සත්ත්‍වයෝ ද ඒ බුදුන් දැක ගැලවිය නො හෙත් ම ය. අරූතල - අසංඥතල පරසක්වළ යනාදියෙහි උපන්නා වූ සත්ත්‍වයෝ ත් ඒ බුදුන් නො දකිත්ම ය.

තව ද: මේ බුද්ධෝත්පාදයෙහි බණ අසා මෙලෝ පරලෝ දැන තමන් තමන් ශක්ති පමණින් දන් පින්කළෝ දකිති. තව ද සිල් රක්‍ෂා කළෝ දකිති. පෙහෙවස් රක්‍ෂා කළෝ දකිති. බඹසරවස් රැක්කෝ දකිති. දාගැබ් දාකරඬු කරවූවෝ දකිති. බෝධි පිහිටුවූවෝ දකිති. පුෂ්පාරාම-ඵලාරාම කැරවූවෝ දකිති. හේදවු ලැවුවෝ දකිති. මාවත් එළිකළෝ දකිති. ගොනටුකඳ තැනවූවෝ දකිති. ලින් පැන් පොකුණු කැනවූවෝ දකිති. නටඹුන් මෙහෙර කැරවූවෝ දකිති. බණ කියා ලෝවැඩ කළෝ දකිති. බණ කියවූවෝ දකිති. ධර්මශාල තැනවූවෝ දකිති. ධර්මාසන කරවූවෝ දකිති. ධර්ම ශාලාවෙහි වියන් බැන්දවූවෝ දකිති. බණපොත් ලියවා දුන්නෝ දකිති. ඒ පොත් අකුරු ගණනේ චක්‍රවර්ති සම්පත් ආදි වූ බොහෝ සැපත් ලදින් සුව විඳ මෙතේ බුදුන් දැක නිවන් දකිති. කබලිදණ්ඩාසන බණ වසුන් ලැවුවෝ දකිති. ධර්මකථිකයන් පය සේදවූවෝ දකිති. බණ කියන්නන් උපචාරයෙන් සත්කාරයෙන් වඩා ගෙනාවෝ දකිති. බණ කියන කල සාධුකාර දුන්නෝ දකිති. බණට අඬගෑවෝ දකිති. විජිනිපත් දන් දුන්නෝ දකිති. විජිනිපත් අතට ඔසවා දුන්නෝ දකිති. ධර්මාසනයෙහි මල් සුවඳ පිදුවෝ දකිති. වස්ත්‍රාභරණ පිදුවෝ දකිති. බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිති. මේ සියල්ල නිමවා බණ පැවැත්වූවෝ දකිති. ගිලනුන්ට අත් පා මෙහෙ කළෝ දකිති. ආවාස දාන කරවා දුන්නෝ දකිති. චීවර පිණ්ඩපාත දන් දුන්නෝ දකිති. ලාබත්-පෙහෙබත්-අවදිබත් දන්දුන්නෝ දකිති. මවුපියන්ට අත් පා මෙහෙකළෝ දකිති. යටත් වශයෙන් එක මලක් එක පානක් එක බත්කෙනෙස්සක් දන් දී වේව යි තුණුරුවන් කෙරෙහි සිත පහදවා වේව යි යම් යම් කෙනෙක් මෛත්‍රෙය බුදුන් දැකුම්වේව යි කියා මාගේ බුද්ධෝත්පාදයෙහි ප්‍රාර්ථනා කළාහු වූ නම්, ශාරිපුත්‍ර ස්ථවිරය ඔහු මතු මෙතේ බුදුන් දැක සංසාර සාගරයෙන් ගොඩ නැඟෙන්නාහු ම ය යි වදාරා මේ අනාගතවංශ දේශනාව නිමවා වදාළ සේක.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ තමන් නො වඳුම්හ යි මන් කළ ඤාතිගණයා මධ්‍යයෙහි ආකාශයට පැනැනැඟී ඒ රුවන් සක්මන දී මහත් වූ යමකප්‍රාතිහාර්‍ය්‍ය දක්වා ධම්සෙනෙවි - සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් මේ බුද්ධවංශය හා අනාගතවංශය දේශනා කොට නිමවා, නෑයන්ගේ මන් බිඳ ආකාශයෙන් බස්නා පුන්සඳක් සේ බැස පළමුව වැඩහුන් බුද්ධාසනයෙහි පෙනී ගිය සේක.

ඒ ආශ්චර්‍ය්‍යය දුටු ශුද්ධෝදන රජ්ජුරුවෝ පුතණුවන් වහන්සේගේ ශ්‍රී පාදමූලයට ගොස් දොහොත් මුදුනෙහි තබාගෙන සන්තෝෂ බාෂ්පයෙන් දෙනුවන් තෙම තෙමා: ස්වාමීනි, මාගේ බුදුරජාණෙනි, මාගේ සිද්ධාර්ථ කුමාරයෙනි, මාගේම පුතණුවන් වහන්ස, පුත්‍රව්‍යාජයෙන් ලොවට වැඩ පිණිස මාගේ ගෙයි උපන් මාගේම පියාණන් වහන්ස, අද පටන් නුඹ මට දරු නොවන දෑ ය. මම නුඹට දරුයෙමි. එසේ හෙයින් මා සේ වූ නුඹගේ දාසයකුත් නො වටනා හිනා වූ පියක්හට මෙ බඳු වූ ප්‍රාතිහාර්‍ය්‍යයක් දක්වා මුළු ලෝ වෙවුල්වා කුමක් නිසා දුක් ගෙන වදාළසේක් ද? මම නුඹවහන්සේ උපන්දා කාලදේවල නම් සෘෂීන්ගේ නළල්මැද නුඹගේ තෙල සිතුපතුල් දෙක සැපී ගිය ප්‍රාතිහාර්‍ය්‍යය දැක සතුටු ව එදා ද මේ සිරි පතුල් දෙක නළල් තබා වැන්දෙමි. ඒ මාගේ පළමුවන වැඳීම ය. තව ද නුඹ පස්මැසි කල වප්මඟුල් කරණ දා දඹගස මුලදී කළා වූ ප්‍රාතිහාර්‍ය්‍යය දැක සතුටු ව එදාත් මේ සිරිපතුල් දෙක වැන්දෙමි, ඒ මාගේ දෙවන වැඳීම ය. අද මා වැනියකු තබා දිව්‍ය බ්‍රහ්මයනුත් නුදුටු නො ඇසූ විරූ මෙ බඳු වූ ප්‍රාතිහාර්‍ය්‍ය දැක රාජ්‍යය පුදා පියම් නම් ඒ නුඹ අලුයම දැමූ කෙළපිඩක් සේ පිළිකුල්කොට හැරපියා ගිය රාජ්‍යය වුව. ජීවිතය පුදාපියම් නම් නුඹගේ බුද්ධශ්‍රී වඩ වඩා දකින ලෝභය මාගේ බොහෝ හෙයිනුත් ඒ ජීවිත පූජාව නුඹ නො ඉවසන හෙයිනුත්, ජීවිතය ත් පුදාපිය නො හෙමි. යනාදීන් කිය කියා බුදුන්ගේ ශ්‍රීපාද දෙක ඉස්මුදුනෙහි තබාගෙන මේ තුන් වන වැඳීම ය යි කිය කියා ඒ ශුද්ධෝදන රජ්ජුරුවෝ සිටගත නොහී මුලින් සිඳහෙළූ කනක රූපයක් සේ බුදුන් පාවිට ම වැඳ පෙරළී ගියහ.

රජ්ජුරුවන් වැඳි කල එක්ලක්‍ෂ සැටදහසක් පමණ ශාක්‍ය රජ දරුවෝ සිටි සිටි පලින් සිටගත නොහී යුගාන්තවාතයෙන් හුනු මහ සල්වනයක් සේ වැඳ පෙරළී ගියහ. එක රජෙකු ත් බුදුන් නො වැඳ සිටීමට සමර්ථ නුවූයේ ම ය. ඇම ශාක්‍යයන්ගේ ම මානය සුළං දුටු වලාකඩක් සේ සිඳී බිඳී ගියහ.

ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ ඥාති සමාගමයෙහි මුදුන් පැමිණ නෑයන්ගේ මාන භංගකොට වදාළ සේක. හැම ශාක්‍යයෝම බුදුන් වැඳ නැගී මන් බිඳ දොහොත් මුදුන් දී නමස්කාර පූජායෙන් හිඳ ගත්තාහු ය.

එ වේලෙහි ශක්‍රදේවේන්‍ද්‍රයා මලාගිය මලස්නෙක පැන් ඉස්නා ශ්‍රද්ධාවන්ත පුරුෂයකු සේ, බුදුන්ගේ ශාක්‍යකුල නමැති බන්‍ධු කුසුමයන් සන්තෝෂ කරවා මහත් වූ පොකුරු වැස්සක් වස්වා පූජා කෙළේ ය. ඒ පොකුරු වැස්සෙහි තඹවන් දිය යට පොළොවින් දිවෙයි. තෙමෙනු කැමැත්තෝ තෙමෙති. නො තෙමෙනු කැමැත්තෝ නො තෙමෙති. ඒ ආශ්චර්‍ය්‍යය දැක විසිදහසක් භික්‍ෂූහු බුදුන්ගේ බන්‍ධුසමාගමයෙහි වට පොකුරු වැස්සෙක මහිමයක් බලව යි ස්තුති කළසේක. ස්වාමිදරුවෝ ඒ අර්ථෝත්පත්තියෙහි: මහණෙනි, දැන් මතු නො වෙයි. පෙර ත් මාගේ බන්‍ධු සමාගමයෙහි පොකුරු වැසි වටුයේ ම වේදැ යි වදාරා දහසක් ගාථාවෙන් ප්‍රතිමණ්ඩිත වූ මහා වෙස්සන්තර ජාතකය ගෙනහැර දක්වා ධර්මදේශනා කොට වදාළ සේක. එ වේලෙහි ද බොහෝ ප්‍රාණීහු සෝවාන් ආදි මාර්ගඵලයට පැමිණියාහ.

ඉක්බිත්තෙන් ඒ ශාක්‍ය රජදරුවෝ බුදුන් වැඳ ප්‍රදක්‍ෂිණා කොට බුද්ධදර්ශනයට විෂය තාක් තැන් පසු බැස බැස ගොස් දර්ශනාවසානයෙහි සිට නැවත නැවත පසඟ පිහිටුවා වැඳ ‘ශාක්‍යසිංහ’ ‘ශාක්‍යකෙතු’ යනාදීන් බුදුන්ට ස්තුති කොට ගියහ.

මෙසේ මාගේ බුදුහු පළමුවන ඥාතිසමාගමයෙහි දී යමකප්‍රාතිහාර්‍ය්‍යය දැක්වූ දා දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්ම රාජයන් කළා වූ දෙලක්‍ෂ සතළිස්දහසක් නමස්කාර පූජා ය, ශාක්‍ය රජදරුවන් කළ එක්ලක්‍ෂ සැටදහසක් නමස්කාර පූජා ය, ශක්‍රයා කළ පුෂ්කර වර්ෂා නම් පූජා ය, විසිදහසක් මහරහතන් විසින් කරන ලද ස්තුති පූජා ය යි මෙසේ සාරලක්‍ෂ විසිදහස් එකුතුරු මහා පූජාවක් ලත් හෙයිනුත්, මෙසේ වූ වික්‍රමයෙන් පූජා විඳීමට සුදුසු හෙයිනුත්, ශාක්‍යකුල සිංහ වූ, ශාක්‍යකුල තිලක වූ, ශාක්‍යකුල ධ්වජ වූ, ශාක්‍යකුල කේතු වූ, ශාක්‍යකුල කිරීට වූ, ශාක්‍යකුල චූඩාමාණික්‍ය වූ, ශාක්‍යකුල චින්තාමාණික්‍ය වූ, ශාක්‍යකුල කල්පද්‍රැම වූ, ශාක්‍යකුල මහානිධාන වූ, ශාක්‍යකුල ප්‍රදීපායමාන වූ, මාගේ ස්වාමිදරු වූ, බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක.

එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්‍ථානු රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං යි.

මේ පූජාවලියෙහි අප බුදුන් බන්‍ධුසමාගමයෙහි දී ලද

නිග්‍රොධාරාම පූජා කථා නම් වූ පසළොස් වන පරිච්ඡේදය නිමි.

16. භික්‍ෂාටනාදි අද්භූත පූජා

කිඹුල්වත් පුර පිඬු පිණිස හැසිරීම

තව ද අප බුදුන් මෙම කිඹුල්වත් නුවරදී ම ලද භික්‍ෂාටනාදි අද්භූත පූජා නම් කවරහ? යත්:

මෙසේ මාගේ බුදුරජාණන් වහන්සේ එදා බන්‍ධුසමාගමයෙහි මුදුන් පැමිණ සද්ධර්මාමෘතයෙන් අභිෂේක දුන් කල ඒ ශාක්‍ය රජ දරුවෝ බණ අසා සන්තෝෂයෙන් නුවරට යන්නාහු සද්ධර්ම ප්‍රීතීන් සිහි මඳ ව එක රජෙක් වේව යි එක බිසෝ කෙනෙක් වේව යි බුදුන් සෙට දවසට පවරා ගිය කෙනෙක් නැත්තාහු ය.

ස්වාමිදරුවෝ එ දා රෑ ඒ නිග්‍රෝධ නම් ආරාමයෙහි දවස් යවා අරුණොද්ගමන වේලෙහි මහා කරුණා සමාපත්තීන් නැගී දස දහසක් සක්වළ මුළුල්ලෙහි තමන් වහන්සේගේ නුවණ නමැති දැල දමා බලා හිරුරැසින් ප්‍රබෝධවන පද්මයන් සේ, දේශනා රශ්මීන් ප්‍රබෝධවන්නා වූ ආර්‍ය්‍ය භූමියට අවක්‍රාන්ත වන්නට නිසි වූ විනෙයජන පුද්ගලයන් බලා වදාරා අරුණෝද්ගමන වේලාවෙහි සමාපත්තීන් නැගි උපස්ථායකයන්ට අනුග්‍රහ සඳහා ද, ශරීරයට සුව සඳහා ද, දැහැටි කෘත්‍යය නිමවා, භික්‍ෂාටන වේලාව දක්වා විවික්ත වූ ආසනයෙහි වැඩ හිඳ සමවත් සුවයෙන් දවස් යවා, භික්‍ෂාචාර වේලාවෙහි ලාක්‍ෂාරසයෙන් තෙත් වූ අභිනව ප්‍රබුද්ධ රත් කොබෝළීල මල් පැහැ ඇති සුරකත වූ දෙපට හඳනා සිවුර රන් කතුරෙන් රත්පියුම් පෙති කලබක් කපන්නා සේ දෙදන ය නාභි ය යන තුන් මඬුල්ල වසා සකසා හැඳ, රත්පියුම් කලබක් රන්පටෙකින් වෙළන්නා සේ විදුලිය පතක් සේ දිලියෙන්නා වූ පටිධාතුව බැඳ, අටළොස් රියන් රුවන් ඇගෑයක් රත්පලස් කඩෙකින් වසන්නා සේ, රත්ගල් මුදුනෙක ලාක්‍ෂාරස වත්කරන්නා සේ, අටළොස් රියන් ගජකුම්භයක් ප්‍රවාල කලාපයෙකින් වසන්නා සේ, රන් දාගබක් ඉඟල්වතෙකින් වසන්නා සේ, චිත්‍රකූට පර්වතයක් බඳු වද මල් රැසෙකින් වසන්නා සේ, ගමන් ගත් පූර්ණ චන්‍ද්‍රයා සන්‍ධ්‍යා වලාපටලයෙකින් වසන්නා සේ, නිග්‍රෝධ ඵල සමාන වර්ණ වූ සුගත් මහ පවුල් සඟළ පෙරව, පාත්‍රා ධාතුව බලා වදාළ සේක.

එ කෙණෙහි පාත්‍රා ධාතූන් වහන්සේ පාත්‍රස්ථවිකාවෙන් ආකාශයට පැන නැඟී රත් පියුම් ගබෙකින් රත් පියුම් ගබකට වදනා ඉන්‍ද්‍රනීල මාණික්‍ය භෘඞ්ගරාජයකු සේ සුරක්ත වූ ශ්‍රී හස්තයෙහි පෙනීගිය සේක. අනන්තාපරියන්ත වූ සසර ලක්‍ෂගණන් කෝටි ගණන් පාත්‍රා පුරා බුදුන් රහතන්ට පිළිගන්වාපු මාගේ ස්වාමිදරුවාණන් අතට එක පාත්‍රයක් ආකාශයෙන් අවුත් පෙනී යාම නම් කවර ආශ්චර්‍ය්‍යයෙකැයි කියම් ද. මෙසේ පාත්‍රය දරා වැඩ සිට ගන්‍ධකුටි ද්වාරය බලා වදාළසේක.

එ කෙණෙහි බොහෝ සත්ත්‍වයන්ට නිවන්පුර දොර හැරපු කුශලයෙන් ඒ ගඳකිළියෙහි දොර තෙමේ ම ‘හැරී වැඩිය මැනව ස්වාමීනි’යි කියන්නකු සේ එකාඞ්ගන වි ය. එ කෙණෙහි ස්වාමිදරුවෝ ස්වර්ණ සුරභි පුෂ්පෝපහාර සමලඞ්කෘත භූමිභාග ඇති සුගන්‍ධ ගන්‍ධයෙන් පිරුණාවූ ගන්‍ධකුටි මුඛයෙන් මේඝ මුඛයෙකින් නික්මුණු පූර්ණ චන්‍ද්‍රයා සේ, රත්ගල් ගුහායෙකින් නික්මුණු කේශර සිංහරාජයක්හු සේ, පිටත් ව ගන්‍ධකුටි ද්වාරයෙහි වැඩසිටි සේක. එ කෙණෙහි සුවිනීත වූ සුප්‍රාවෘත වූ ශාන්ත වූ ඉඳුරන් ඇති ශාන්ත වූ සිත් ඇති අල්පේච්ඡ වූ සන්තුෂ්ට වූ ප්‍රවිචික්ත වූ අසංශෘෂ්ට වූ චෝදක වූ පාපගර්හී වූ ආරබ්ධවීර්‍ය්‍ය වූ වචනක්‍ෂම වූ ශීල සම්පන්න වූ සමාධි සම්පන්න වූ ප්‍රඥා සම්පන්න වූ විර්‍ය්‍ය සම්පන්න වූ විසිදහසක් රහතන් වහන්සේ මැණික් සන්නාහ බහාලූ අලඞ්කෘත වූ ගන්‍ධහස්ති රාජයන් සේ බුදුන් පිරිවරා සිටගත් සේක.

එ කෙණෙහි මාගේ ස්වාමිදරුවෝ පූර්ව බුද්ධවරයෝ කුලගාමීව වැඩි දා කෙසේ පිඬු සිඟු දෝ හෝ යි පූර්ව බුද්ධචරිතයන් බලා ප්‍රාතිහාර්‍ය්‍ය දක්ව දක්වා ගෙ පිළිවෙලින් සිඟුහ යි දැක අද මම ද එසේ ම ප්‍රාතිහාර්‍ය්‍යයෙන් සිඟමි යි සිතලා දකුණු ශ්‍රී පාදය ඔසවා වදාළ සේක. එකෙණෙහි මහ ගැල් සකස් සා පියුමෙක් පැන නැඟී ඒ ශ්‍රී පාදය පිළිගත; නැවත වාම ශ්‍රි පාදය ද ඔසවා වදාළ සේක. එසේ ම අනෙක් මහ පියුමෙක් පැනනැඟී ඒ ශ්‍රී පාදය ද පිළිගත. එ කෙණෙහි ස්වාමිදරුවෝ පියුමක් පිට පියුමක් තබන්නා සේ ඒ පැන නැඟි පියුම් පිට සිරිපා පියුම් තබ තබා නික්මුණු සේක. නැඟු නැඟු පත්ලෙහි පියුම් පෙනේ ම ය. එසවූ එසවූ පත්ලෙහි පියුම් අන්තර්ධාන වේ ම ය.

එ තැන් පටන් නුවර දක්වා මඟ උස් තැන් භේරිතලයක් සේ තැනි ගිය. මිටි තැන් සුළං පිරූ කඹුරු සමක් සේ පිරී ගිය. තව ද එ කෙණෙහි එක් සුළඟෙක් බුදුන් පෙරට ව දිවගෙන ගොස් මාර්ගයෙහි කැටදඬු පරඬලා ඇම නො තබා පිසහැර තලිපිටක් සේ තනා ලී ය. එක් වැස්සෙක් දිවගෙන ගොස් මඟ රජස් සන්හිඳුවා පොද බින්‍දුයෙන් තෙමා ගිය. එක් පවනෙක් වනකුසුමයන් ගෙන හැර පුරා මඟ මලස්නක් සේ තනා ලී ය. වලාකඩෙක් දිව අවුදින් බුදුන් සිරසට පස් පෑ දිසාන් අහස් වියනක් සේ මැවී ආතප නිවාරණය කෙරෙමින් යෙයි. මෙසේ නැඟු නැඟූ පත්ලෙහි පියුම් දක්ව දක්වා වඩනා කළ පියුම් ගබෙහි සුරක්ත වූ සුගන්‍ධ මකරන්‍දයෝ අනවලෝ මුදුන් දක්වා අහසට පැන නැඟී රන් පර්වතයෙක රුවන් සුනු ඉස්නා සේ, ලාක්‍ෂාරස ඉස්නා සේ බුදුන්ගේ රන්වන් වූ ශ්‍රී ශරීරය හොබවමින් යෙති.

සවණක් රැස් විහිදීම

ඉක්බිත්තෙන් බාහිර වූ පද්මයෙහි උපන් මකරන්‍දෙයනි, අප සදෙනා ඉන්ද දී අප බුදුන්ගේ ශ්‍රී ශරීරය තෙපි හොබවා සරහව් දැ යි ඒ මකරන්‍දයන්ට නින්‍දා කරන්නවුන් සේ, බුදුන්ගේ ශ්‍රි ශරීරයෙහි සවණක් ඝන බුදුරැස් යන්ත්‍ර තලෙකින් මඩනා ස්වර්ණ රසධාරාවන් සේ, බලසම්පන්න වූ පුරුෂයන් මහ සම් මඩනා වේලෙහි ය මුදුනෙන් නැගෙන රශ්මිජාලාවන් සේ, ස්වර්ණ සාගරයෙන් නැඟෙන මහ රළපතර සේ, චිත්‍රකූට පර්වතයෙන් නැඟී දිවන ස්වර්ණ හංසරාජ සමූහයන් සේ, එම ස්වර්ණ සාගරයෙන් ඉස් නඟා ඒ ඒ දිග්හි දිවන රන්වන් වූ දිව්‍යරාජ නාගයන් සේ, සුපුෂ්පිත චම්පක වෘක්‍ෂරාජයෙක්හි සුළං පහරින් පැන නැඟී ආකාශයෙහි බම බමා දිවන සපුමල්කඳු සේ ඒ ඒ දිග්හි නික්මින.

කෙසේ ද? යත්; දක්‍ෂිණ භාගයෙන් නාඹ තල් කඳක් සා බුදුරස් කඳෙක් දිව බුදුන් සිසාරා තුන්යළක් පැදකුණු කොට දකුණුදිගින් අසූරියනක් පමණ තැන් දිව එ දිග හොබවා සිටගත. වාම භාගයෙන් ද නාඹතල්කඳක් සා බුදුරස් කඳෙක් දිව එ ද බුදුන් සිසාරා තුන්යළක් පැදකුණු කොට අසූරියනක් පමණ තැන් දිව එ දිග ද හොබවා සිට ගත. ශ්‍රී මුඛයෙන් ද නාඹතල්කඳක් සා බුදුරස් කඳෙක් දිව මුඛය තුන්යළක් පැදකුණුකොට සඳ මඬුල්ලක්හුගේ ආකාර දක්ව දක්වා අභිමුඛයෙන් අසූරියනක් පමණ තැන් දිව: කොල බුදුහු වඩනා සේක, මඟ හරුව යි කිය කියා දිවන පක්‍ෂපාත අභියුක්තයකු සේ පෙරමඟ හොබවා සිටගත. පශ්චිම භාගයෙන් ද නාඹ තල්කඳක් සා බුදුරස් කඳෙක් දිව තුන්යළක් පැදකුණු කොට අසූරියනක් පමණ තැන් දිව පශ්චිම භාගය ද හොබවා සිට ගත. ශිරෝධාතුවෙන් නාඹතල්කඳක් සා බුදුරස් කඳෙක් දිව සිරස තුන්යළක් පැදකුණුකොට දෙවිබඹුන් කැඳවා දෙව්ලොව දිවන දූතයකු සේ අසූරියනක් තැන් ආකාශය හොබවා සිටගත.

එ කල මාගේ ස්වාමිදරුවෝ සත්රුවන් ගොනැස් උරවාලූ රුවන් කැණිමඩුල්ලෙක ශෝභාවෙක් ඇත්නම් තමන් වහන්සේ. කරාම හය හයා; තව ද: සඳැස් පිල් විදහා ලීලෝපෙත ව රත්ගල් තලා මුදුනෙකින් නික්මුණු රන්වන් මයූර රාජයක්හුගේ ශෝභා පැහැරගෙන දහසක් රැස් දහසක් දිග විහිදුව විහිදුවා උදයගිරිතලා මුදුනෙහි ගමන්ගත් ළහිරු මඬලක්හුගේ රශ්මි ප්‍රභාව නිෂ්ප්‍රභා කෙරෙමින්; තව ද: සත්රුවන් කුඩයෙක උරවා ලූ සත්රුවන් ගොනැස් පෙළක් සේ පෙළ පෙළ බුදුරස්කඳු විහිදුව විහිදුවා තව ද; ප්‍රවාලමය වූ සිරි පතින් සූක්ෂ්ම වූ රන්කොඳු අදනා සේ සුරක්ත වූ සිවුරෙහි අසු අස්සෙන් සූක්‍ෂ්ම වූ බුදුරස් කොඳු පිටතට හයව හයවා මෙසේ වඩනා සේක. එ වේලෙහි උභය භාගයෙහි නිල් තණ රන්පට තැනුවා සේ බුදුරස් ගැසී රන්වන්ව ගිය. නො ඵක් වෘක්ෂලතාවෝ ද බුදුරස් බලයෙන් තුමු තුමූ ද රන්වන් ව නිලපත්‍ර පෙරළා බුද්ධපූජාවට රන්තැටපත්ගෙන සිටිනා සේ රන්වන් පතින් සැදී සිට ගත්හ.

මෙසේ මාගේ ස්වාමිදරුවන් එදා විසිදහසක් රහතන් පිරිවරා මෙ බඳු වූ බුද්ධශ්‍රීන් දිලිහි දිලිහී වඩනා පරිදි ‘රත්පියුම් සාගරයක් මැදින් ගමන් ගත්තාවූ ස්වර්ණ නෞකාවක්.වැනි සේකැ’යි කියම් නම්; ඒ රන් නම්, මල්වඩා ඔබගේ ශ්‍රීපාදමූලයෙහි පිදූකල අපමණ වූ චක්‍රවර්ති සම්පත් ශක්‍ර සම්පත් ආදි වූ බොහෝ සම්පත් ලැබේ මය; එසේ හෙයින් ඔබගේ ශ්‍රීපාද පූජාවට ම සුදුසුවූ; ඔබගේ ගුණ ගෙන වසන සව්වන් පවා කුණපයක් කොට සිතා තමන් පාපිස්නා බිස්සට ත් නො ගන්නාවූ; ඒ රත් රනින් නිමියාවූ ඒ ස්වර්ණ නෞකාව ඔබ වැනි ය යි උපමා කොට කියම් නම් අනාදර වේදෝ හෝ යි යන භයින් ඒ උපමාවත් හැර පියමි.

තව ද; මාගේ බුදුන් එදා වඩනා ශ්‍රී විභූතිය “වෛපුල්‍ය නම් පර්වතයෙන් පැනනැඟී සතර ගවුවක් තැන් ඒකාලෝක කොට සුවාසූ දහසක් මැණික් පිරිවරා චක්‍රවර්තී රජක්හුගේ දොරට ගමන් ගත් චින්තාමාණික්‍ය රත්නයෙහි ශ්‍රී වැනි සේකැ”යි කියම් නම්; එසේවූ චින්තාමාණික්‍යයෝ දෙදෙනෙක් ඔබගේ ශ්‍රීපාදයුග්මයෙහි පිරිවර සමඟින් පෙනෙන්නාහු ය; එසේ හෙයින් ඔබගේ ශ්‍රීපාදයෙහි සැඟවී තිබෙන ‘චින්තාමාණික්‍ය රත්න ය වැනි සේකැ’යි උපමා කියා ඔබට නින්‍දා නො කෙරෙමි.

තව ද; මාගේ බුදුන් වඩනා ශ්‍රී විභූති ය දොළොස් යොදනෙක පැතිර සිටිනා තූර්‍ය්‍ය සේනාවක් හා පස්විසි යොදනෙක පැතිර සිටිනා බ්‍රාහ්මණ මණ්ඩලයක් හා, අටසාලිස් යොදනෙක සිටිනා අමාත්‍ය මණ්ඩලයක් හා, අනූ යොදනෙක රන්කැටි ගෙන සැරසී සිටිනා යෝධ මණ්ඩලයක් හා පන්සියක් යොදනෙක සැරසී සිටිනා මහා පර්ෂද් මණ්ඩලයක් හා මේ සා මහත් පර්ෂදදෙකින් දිලිිහි දිලිහී චක්‍රවාටය වට කෙරෙමින් අහසින් නික්මුණා වූ සප්ත රත්න චක්‍රවර්ති රජකු වැනි සේකැ යි කියම් නම්; ඒ චක්‍රවර්ති රජ නම් බුදුන්ගේ සේවක ය. බුදුන්ගේ උපාසකය. බුදුන්ගේ කුලගැතිය. එසේ හෙයින් ඒ මාගේ ස්වාමිදරුවාණන්ට නින්දා වේ දෝ හෝ සිත ඒ උපමාවත් හැරපියමි.

තව ද: අනූදහසක් ස්වර්ණ හංසයන් පිරිවරා ගගන තලයෙහි ගමන් ගත් ධෘතරාෂ්ට්‍ර නම් හංසරාජයා වැනි සේකැයි කියම් නම්; ඒ හංසරාජයා නම් බුදුන් ධර්මදේශනා කරන වේලෙහි මහ පියුමක් තුඩින් ගෙන බුදුන්ට පුද පුදා ආකාශයෙහි රන් පැදුරක් අතුළාසේ පියාපත් විදහා තබා සිතියම ඇඳපු රුවක් සේ, හෙව බණ අසන්නාවූ හංසරාජයෙකු;මෙසේ ඔබට පූජාවට අවුත් සිටිනාවූ ඒ හංසරාජයා ගෙන ඔබට උපමා කීමෙන් මාගේ බුදුන්ට ම නින්දා වෙති යි ඒ උපමාවත් හළිමි.

තව ද: කෙළලක්‍ෂයක් පමණ සිංහසේනාව පිරිවරා සැටයොදුන් රත්ගලා මුදුනෙහි ගමන් ගත් කේශර සිංහරාජයකු වැනි සේකැ යි කියම් නම්; එසේ වූ සිංහරාජයෝ දෙදෙනෙක් බුදුන්ගේ ශ්‍රිපාද යුග්මයෙහි සපිරිවරින් පෙනෙති. ඔබගේ ශ්‍රීපාදයෙහි සැඟවී තිබෙන්නා වූ ඒ සිංහරාජයා ගෙන ඔබට උපමා කීමෙන් ඔබට ම නින්‍දා වෙති යි ඒ උපමාවත් හරිමි.

තව ද : අයමින් විතරින් උනුපණස් යොදුන් පමණ ඇති, වටින් එක්සිය සත්සාළිස් යොදුන් ඇති, එකදා ඇතුළත සවිසි ලක්‍ෂ දසදහසක් යොදුන් පලායන ගමන් ඇති, එකපැයක් ඇතුළත තෙසාළිස් දහස් පන්සියයක් යොදුන් පලායන ගමන් ඇති, එක විනාඩිකාවක් ඇතුළත සත්සිය පස්විසි යොදුන් පලායන ගමන් ඇති එක සුස්මක් ඔසවා එලාලන ඇසිල්ලෙහි එක්සිය විසි යොදුන් සවිසි ඉසුබු තෙළෙස් යට එක් රියන් එක් වියත් සතරගලක් පලායන තරම් ශීඝ්‍ර වූ ගමන් හා ආනුභාව ඇති, රාශි ග්‍රහයන් දොළොස් දෙනා හා, නකත් ග්‍රහයන් සත්විසිදෙනා හා පාදයන් එක්සිය අටදෙනා හා, පිරිවරා විමාන ග්‍රහයන් දහස් ගණන් හා සමග දෙලක්‍ෂ පස්විසි දහසක් යොදුන් දිග ඇති, මේෂ නම් මහා වීථියට බැස අභ්‍රය මහීකය ධූමය රජස් ය රාහුය යන පඤ්චෝපක්ලේශයෙන් විරහිත ව මේ නකත් තරු පිරිවරා සොළොස් කලාවෙන් සම්පූර්ණ ව මැදි පොහෝදා ගුවන් මුදුනෙහි ගමන් ගත් පූර්ණ චන්‍ද්‍රයා වැනි සේකැ යි කියම් නම්: ඒ චන්‍ද්‍රයා නම් රාහු අසුරේන්‍ද්‍රයා දැක බා බුදුන් කරා දිවගොස් වැඳ බුදුන්ගේ ශ්‍රීපාදමූලයට වැද ගැලවුනා වූ දෙවියෙක. සතුරන්ට බා ඔබ කරා වැද ගැලවෙන තැනැත්තවූ ඔබ හා සමකොට උපමා කියා මාගේ ස්වාමිදරුවන්ට අනාදරයක් නො කෙරෙමි.

තව ද: මාගේ ස්වාමිදරුවන් බුදුරස් කඳින් දිලිහි දිලිහී වඩනා පරිදි සමපණස් යොදුන් අයම් විතර ඇති, යෙළ සියයක් යොදුන් වට ඇති, දවසකින් සත්විසි ලක්‍ෂයක් යොදුන් පලායන තරම් ගමන් ඇති, පැයෙකින් පන්සාළිස් දහසක් යොදුන් පලායන තරම් ගමන් ඇති, විනාඩිකාචෙකින් සත්සිය පනස් යොදුන් තැන් දිවන, සුස්මක් නහාලන ඇසිල්ලෙහි එක්සිය පස්විසි යොදුන් දිවන්නාවූ ගමන් හා ආනුභාව ඇති, නවලක්‍ෂයක් යොදුන් තැන් පැතිර සිටිනා ප්‍රභාමණ්ඩල ඇති, ප්‍රවාලසාගර මුදුනෙහි දසදිග අඳුරු විදහා ගමන්ගත් ලහිරුමඬල වැනි සේකැ යි කියම් නම් ඒ ලහිරු මඬල නම් රාහු අසුරිඳු දුටු දා ඔහුගේ මුඛයට පැමිණ නයකු මුඛයෙන් ගැලවුනා වූ මැඩියකු සේ මාගේ ස්වාමිදරුවන්ගේ කරුණා මන්ත්‍ර බලයෙන් ගැලවී, එතැන් පටන් ඒ මාගේ ස්වාමිදරුවන්ට ශීත නිවාරණය කළමනා වේලෙහි සමපනස් යොදුන් මිණි පෝරුවක් සේ තෙමේ බුදුන් පිටා‘ටුවක් ව පූජාකොට ශීත නිවාරණය කෙරෙයි. එසේ වූ ඔබට අත් පා මෙහෙ කරන ඒ ලහිරු මඬල ගෙන ඔබට ම උපමා කියා ඔබට නින්දා නො කෙරෙමි.

තව ද: තුන් ගවු පමන උස ඇති, ගවු පමණ මිණි වොටුනු ඇති, දසදහසක් රියන් පමණ දිග් අත් ඇති, තුන් දහසක් රියන් දිග වියත් ඇති, දෙසිය පනස් රියන් දිග අතුල් ඇති, තුන්දහස් සත්සිය පනස් රියන් දිග පතුල් ඇති, යහළක් පමණ සුවඳ විලවුන් ගෙන සැට ගැලක් පුරා ලන දිව්‍යාභරණ ගෙන පැළඳ, දෙදෙව් ලොව දෙවියන් පිරිවරා; පුළුල් සැට යොදුන්, දිග දහසක් යොදුන්, සුදර්ශන නම් වීථියට බැස දිව්‍යශ්‍රීන් නික්මුණා වූ ශක්‍රදේවේන්‍ද්‍රයා වැනි සේකැයි ඉදින් කිනම් නම්: ඒ දිව්‍යරාජයා නම් මාගේ බුදුන්ට සක් පිඹිනා එක්තරා උදියෙක, එසේ හෙයින් ඒ උපමාවත් හළිමි.

තව ද: සුයාම දිව්‍ය ලෝකයෙහි දෙවියන් පිරිවරා නික්මුණා වූ සුයාම නම් දිව්‍යරාජයා වැනි සේකැ යි කියම් නම්, ඒ දිව්‍ය රාජයා නම් බුදුන් ඇඟට චාමර සලන්නා වූ බුදුන්ගේ ම අතැවැස්සෙක. එසේ හෙයින් ඒ උපමාවත් හළිමි.

තව ද: සන්තුෂිතයන් පිරිවරා නික්මුණා වූ සන්තුෂිත නම් දිව්‍ය රාජයා වැනි සේකැ යි කියම් නම් ඒ මාගේ බුදුන් ඇඟට මිණිතල් වැට සලන්නා වූ එක්තරා අහියුක්තයෙක. එසේ හෙයින් ඒ උපමාවත් හළිමි.

තව ද: සුනිර්මිත දිව්‍යරාජයා වැනි සේකැ යි කියම් නම් ඒ තමාගේ මකුට මාණික්‍ය රශ්මීන් මාගේ බුදුන්ගේ ශ්‍රීපාදයට පූජා කෙරෙයි. එසේ හෙයින් ඒ උපමාවත් හළිමි.

තව ද: ඔවුන් හැමදෙනාට ම වඩනා වූ ආනුභාව හා තේජස් ඇති පරනිර්මිත නම් දිව්‍යරාජයා වැනි සේකැ යි කියම් නම් ඒ මාගේ බුදුන්ට කුලගැති වූ සේවකයෙක. එසේ හෙයින් ඒ උපමාවත් බුදුන් කෙරෙහි ගත් ආදරයෙන් ම හළිමි.

තව ද: මාගේ ස්වාමිදරුවාණන් විසිදහසක් රහතන් පිරිවරා එදා වඩනා ශ්‍රී විභූතියට “අටසාලිස් ගව්වක් පමණ උස ඇති දොළොස්ගවු රියන් ඇති, සගවු දිග වියත් ඇති, අඩ ගවු පමණ ඇඟිලි ඇති, සත්ගවු හමාරක් දිග පතුල් ඇති, දොළොස් යොදුන් දිවසළු ඇඳ, සොළොස් ගවු මිණි වොටුනු පැළඳ, එක ඇඟිල්ලෙන් දිව රසින් දහසක් සක්වළ අලුකෙරෙමින් දස ඇඟිල්ලෙන් දිවු රසින් දස දහසක් සක්වළ ඒකාලෝක කෙරෙමින්, ලක්‍ෂ ගණන් බ්‍රහ්මසේනාව පිරිවරා මිනිස්ලොවට නික්මුණ සහම්පති මහාබ්‍රහ්මයා වැනි සේකැ”යි කියම් නම් ඒ බ්‍රහ්ම රාජයා නම් මාගේ ස්වාමිදරුවන්ගේ සිරසට කුඩ අල්ලන්නා වූ සරසෙක. එසේ හෙයින් ඔබට මෙහෙතැන් ධුරයකොට සිටි ඒ බ්‍රහ්මරාජයා ඔබ හා සමකොට මාගේ මුඛයෙන් උපමා නො කෙරෙමි.

වැළි කා වැනි සේක් ද? කෙසේ වූ උපමා ඇති සේක් ද? යත්; තමන් වහන්සේ සේ ම ලොවුතුරා බුදුකෙනකුන් ශ්‍රාවකගණයා පිරිවරා කුලගමට වඩනා ශෝභා වැන්නැ යි මේ උපමාව භය නැති ව ම සරිගස්වා කියමි.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ කිඹුල්වත් පුරයට මෙසේ මහත් වූ ප්‍රාතිහාර්‍ය්‍ය දක්ව දක්වා තුන් ලොවට ම කියා ගිවිස්වාලිය නොහැකි, අනුපමේය වූ අසදෘශ වූ, අචින්ත්‍ය වූ, අද්භූත වූ අසාධාරණ වූ බුද්ධශ්‍රීන් දිලිහි දිලිහී වැඩ දකුණු ශ්‍රිපාදය එ නුවර මහවාසල ඉන්‍ද්‍රඛීලය මුදුනෙහි පළමුකොට තබා වදාළ සේක.

එකෙණෙහි ඒ ශ්‍රි පාදය ඇතුළට දිගු කිරීම හා සමග ම ඒ පය පඤ්චාංගුලියෙහි පඤ්චනඛ ග්‍රෙයන් බුදුරස්කඳ පසෙක් පඤ්ච මහා ගඞ්ගා ව දිවුවාසේ ඇතුළු නුවරට දිව නුවර වට තුන්යළක් සිසාරා පවුරු අටලුවල ගැසි ගැසී රැළි දිදී දිව ඇම නුවරෙහි ව්‍යාප්ත ව, ප්‍රාසාද ය, කුළුගෙවල භිත්ති ය, පවුරු ය, පදනම ය, අටලු ය, තොරණ ය, වාසල ය, කවුළු ය, වළඳ යනාදිය රන්පට රිදීපට පොරවන්නා සේ, රන්දිය වත්කරන්නා සේ, රන්රසයෙන් පුරන්නා සේ, ඒ ඒ දිග්හි දිව එ නුවර දිව්‍ය පුරයක් සේ සවනක් රසින් අලුකෙළේ ය.

ඒ ආශ්චර්‍ය්‍යයෙහි බන්‍ධනාගාරයෙහි වසන හස්ති අශ්ව මයුර ශාරිකාදීහු එකනින් නාද කළහ. බෙර සක් තිඹිලි තන්ත්‍රි වීණා ආදි තූර්‍ය්‍ය භාණ්ඩයෝ තුමු තුමූ ම පූජාවට පටන්ගත්හ. කොල! බුදුහු වැඩියහ. ආභරණ ගලවව. සසුන් වැද මහණ වව යි කියා පොබයන්නා සේ ඇම මිනිසුන් පලන් කනක කටකා දී ආභරණයෝ එ කෙණෙහි ඉපිළ රැවු දී නැංගාහ. මේ මේ කාරණයෙන් මුළු නුවර සත්ත්‍වයෝ සමුද්‍රය සේ, ඇළල රළපතර දිවන්නා සේ, පෙර මගට දිවන්ට පටන් ගත්හ.

ඉක්බිත්තෙන් මාගේ ස්වාමිදරුවෝ මේබඳු වූ ප්‍රාතිහාර්‍ය්‍යයෙන් වාසල් එළියේ වැඩසිට: පූර්ව බුදුවරයෝ කුලනුවරට වන් දා සුඛිතයන් ගේ ම දොර සිඟූ දෝ හෝ, නො වරදවා ගෙ පිළිවෙලින්ම සිඟූ හ යි. දැන් මම ද මාගේ බුද්ධවංශ චාරිත්‍රය නො වරදවා ම සිඟමි යි සිතා වදාරා අපවිත්‍ර පවිත්‍ර ස්ථානයෙහි වෙනසක් නැති ව පවත්නා වූ චන්‍ද්‍රකාන්තිය සේ, හීන-මධ්‍යම-උත්කෘෂ්ට වූ සකල සත්ත්‍වයන් කෙරෙහි ම තමන් වහන්සේ සම ව පවත්නා මහා කරුණා ඇති බවට දෙස් කියවන්නා සේ, වාසල් දොර ගෙයි පටන් ගෙන ගෙයක් පන්වා ගෙයකට නො ගොසින් සපදාන චාරිකාව නො වරදවා ඒ විසි දහසක් රහතන් පිරිවරා එදා ගෙපිළිවෙලින් ම සිඟන්ට පටන් ගත් සේක.

ආරාධනා කිරීම පාත්‍රා ගැනීම යනාදී ව්‍යවහාර දන්නන් තව නැති හෙයින් කිරි ඉතිර වැගිරෙන කල අපන් සන්සලයෙන් තෙ බල තෙ බලැ යි කියන බසත් මුත් දර හයා පියන්නවුන් නැත්තා සේ ඇම මනුෂ්‍යයෝ ම බුදුන් දැක විස්මය පත් ව බල බලා ම සිටිති. බත් සැන්දක් ගෙනෙන සේත් නො දනිත් ම ය. පාත්‍රා ගන්නා සේ ත් නො දනිත්ම ය.

එ වේලෙහි දෙමහල් - තුන්මහල් - පස්මහල් - සත්මහල් - පාවල උඩුමහලින් යටිමහල නො බැස වසන්නා වූ බිසෝවරුන් හා කුල ස්ත්‍රී සමූහයෝ සිවුමැදුරු කවුළුවල දොර හැර දිගු පුළුලැ‘ස් නමැති නිලුපුලින් හා, දත් නමැති කොඳ කැකුළින් හා, මුඛ නමැති පද්මයෙන් හා, බුදුන්ට පූජාකරන්නාහු සඳමඬුලු රන් කැටපත් බඳු වූ මුඛ මණ්ඩලයන් පිටත් කොට බුද්ධශ්‍රී විඳ විඳ බලන්නට පටන් ගත්හ.

යශෝධරා දේවිය පුතුට බුදුන් හැඳින්නීම

එ කෙණෙහි රාහුල කුමාරයන් වහන්සේට මවු වූ යශෝධරා දෙවි බුදුහු දොර දොර පිඬු සිඟති යි අසා: “සිද්ධාර්ථ කුමාරයෝ පෙර මෙම නුවර රන් රථයකට පැන නැගී සූසැටක් ආභරණ පැළඳ රුවන් රසින් දිලියෙන අනර්ඝ වූ ඔටුන්නක් පැළඳ ලක්‍ෂයක් අගනා වූ මුත්හරෙකින් උරමඬල පුරාගෙන, ලක්‍ෂ ගණන් ඇමැති යෝධ නළු පිරිස් පිරිවරාගෙන, ශක්‍රදේවේන්‍ද්‍ර ලීලායෙන් රාජ්‍යශ්‍රී විඳ ඇවිද්දාහු ය. ඒ මාගේ ස්වාමියාණෝ දැන් කෙස් වැටි දැළි රවුලු කපාහැර ඒ ශරීරය වසා රත් පවුලක් පෙරව මැටි පාත්‍රයක් අතින් ගෙන, මෙම නුවර පෙරළා මෙම ජාතියෙහි දොර දොර සිඟමින් සිටියෝල. උන් මහණවන්ට ගිය දා ම මා දිවි තුබූ ආදීනවයෙන් ලාමක වූ, කණට අමධුර වූ, සිතට අමනෝඥ වූ, හදවත හුණුකරන්නා වූ මෙසේ වූ තෙපලක් ඇසීමි. කිමෙක් දෝ හෝ, ඒ සිද්ධාර්ථ කුමාරයන් දුටු යම්ම කෙනෙක් උන්ගේ මහත් වූ ආනුභාව ම කියති. උන්ගේ සිඟමනුත් ඉතා ම රිසි යෙයි යෙති. ඒ වෙස උන්ට හෙබිදෝ, නො හොබි දෝ, අද මා බැලුව මැන වැ”යි සිතාලා සත්බුමු මහපායෙහි සිංහපඤ්ජරයෙහි දොර අළහ.

එ කෙණෙහි ප්‍රිය වල්ලභයකු දුරට ගොස් අවුදින් තමාගේ ප්‍රිය කාන්තාව වසන ගෙට දොර හරවා වැද, ප්‍රේමයෙන් ඇය අතින් පැහැර, ගෙට වන් පුරුෂ කවරේදැ?යි කියා ගේ කුස බලා ඇවිදුනා සේ, ඇය හළ සිංහපඤ්ජරය හා සමග මාගේ ස්වාමිදරුවන්ගේ ශ්‍රීශරීරයෙන් රන්වන් වූ බුදුරස් කඳෙක් ගේ කුසට වැද දේවීන්ගේ රන්වන් ශරීරය පැහැර ගේ කුස සිසාරා තුන්යළක් දිව සියලු ගර්භාභ්‍යන්තරය ඒකාලෝක කොට යන්ත්‍ර නළින් දිවන ස්වර්ණරස ධාරා සේ, බබුළුවා වා කන්කුළු අසු අස්සෙන් පිටත දිවන්නට පටන් ගත.

එ කෙණෙහි ඒ යශෝධරා දේවි ස්වර්ණ සාගරයෙන් ඉස් දිගු කළ ශ්‍රී කාන්තාව සේ, සිංහපඤ්ජරයෙන් පිටතට කර දිගුකොට බලන්නී, බුදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් හා, අසූ අනු ව්‍යඤ්ජනයෙන් හා, සියලඟින් දිවන බුදුරස් කඳින් හා, ලහිරු මඬලක් සේ දිලිහි දිලිහී විසිදහසක් මහරහතන් පිරිවරා සන් හුන් ලෙසින් වැඩ සිරිපතුල් ඉදිරියට වඩ වඩා සිඟන්නා වූ බුදුරජාණන් වහන්සේ දැක, දොහොත් මුදුනෙහි තබාගෙන තුන්යළක් සාධුකාර දී අමාවළෙක ගලා නඟ ලූ කනකරූපයක් සේ, සියළඟ ලොමු දහ ගන්වමින් පස්වනක් ප්‍රීතීන් පින පිනා මත් ව ‘අහෝ සිද්ධාර්ථ කුමාරයෙනි! එදා මැදයම් රෑ මා වැනි පක්‍ෂපාත වූ ස්ත්‍රියකට ත් නො කියා, රාහුලයන් වැනි එක්වැනි පුතණු කෙනෙකුන් දැක දැක උන් ඇඟ අතගා සිඹ සනා ත් නො පියා, සොරා ව එකලෑව පැලෑයේ මෙසේ වූ ආශ්චර්‍ය්‍යයක් ඇති ගමනකට ද, මෙසේ වූ ශරීර ප්‍රභාවක් සොයා ගිය දෑ ද, මෙසේ වූ පර්ෂදක් සොයා ගිය දෑ ද, මෙනුවර හැර නුඹ ගිය සේ යහපත් ම ය. නුඹ රජකිරි ඇර මහණවූ සේ යහපත් ම ය. නුඹ ලද සැපත නුඹට ම හොබි ම ය. පෙර නුඹගේ ඓශ්චර්‍ය්‍ය රාජ්‍යයට වඩා දැන් නුඹගේ සියත රාජ්‍යය ම මට ඉතා ම රිසි යෙයි කිය කියා:

“සිනිද්ධ නීල මුදු කුඤ්චිත කෙසො

සුරිය නිම්මල තලාභිලලාටො,

යුත්ත තුඞ්ග මුදුකායතනාසො

රංසි ජාල විතතො නරසීහො”යි.

යනාදීන් නරසීහ ගාථා අටක් කියා බුදුන්ගේ කෙශාග්‍රය පටන් නඛාග්‍රය දක්වා රූපවර්ණනාව කොට පියා එ විගස ම මයිලනුවන් ශුද්ධෝදන රජ්ජුරුවන්ගේ ගෙට දිව වැඳ “ස්වාමීනි, මයිලනුවන් වහන්ස! නුඹ පුතනුවන් සිද්ධාර්ථ කුමාරයන් දැන් සත් හවුරුද්දෙකින් තමන්ගේ ම නුවරට ආ තෙනැත්තවුන්ට එක දවසකුත් නො සිඟවා බත් දී ලිය නො හෙන්නෙහි ද? නුඹ සිඟා කෑ කෙනෙක් ද? දැන් ඔහු දොරින් දොර පිඬු සිඟමින් සිටියෝ ය. නුඹ සේ වූ දරුවන්ට දැඩි කෙනෙක් නැත. නුඹ ගෙයි හිඳ කුමක් කරන්නෙහි දැ යි යනාදීන් මයිල් රජහට දෙඩූහ.

ඒ රජ්ජුරුවෝ බුදුන් හා විසිදහසක් මහරහතන්ට පැන් නො වකා චතුමධුරයෙන් කිරිපිඬු පිසවන්නාහු යෙහළනියන් අතින් පුතණුවන් වහන්සේ සිඟති, යන බස් අසා කඳුළු පිරුණු ඇස් ඇති ව, ඉතා මහත් ලජ්ජා ඇති ව, එකතින් සළු පට රඳව රඳවා දිව ස්වර්ණ සාගරයෙහි දිය පිහිරා දිවන අනන්ත නම් දිව්‍ය නාගරාජයා සේ බුදුරස් පිහිර පිහිරා බුදුන් කරා දිව ක්‍ෂීර සාගරයෙහි ගැලෙන්නකුසේ පුතණුවන් වහන්සේගේ චරණ නඛ මයුඛයෙහි ගැලි ගැලී වැඳ “ස්වාමීනි, මාගේ ප්‍රිය පුතණුවන් වහන්ස, මට මේ සා මහත් පරිභවයක් කුමක් නිසා කොට වදාළසේක්ද? අද මේ මුළු දඹදිව තෙසැට දහසක් රාජධානියෙහි තෙසැට දහසක් රජුන් හා මහ සෙනඟ අවු නමුත් පැන් නො වකා සුවඳ හැල් සාලේ කිරිබත් දෙත් පොහොසත්මි. මෙතෙක් රහතන් හා නුඹ වහන්සේට මා බත් දී ලිය නො හෙති යි සිතූ සේක් ද? කුමක් නිසා ස්වාමීනි! මට මේ සා පරිභවයක් කොට දොරින් දොර සිඟා වදාරණ සේක්දැ’යි කීහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ වදාරණසේක් “මහරජ, මේ මාගේ වංශයෙහි සිරිතෙක් ම ය”යි වදාළ සේක. රජ්ජුරුවෝ එ බසට “පුතණුවන් වහන්ස, කුමක් වදාරණ සේක් ද? නුඹවහන්සේගේ වංශය නම් මහාසම්මතාදි රාජවංශය ය. ඒ මාගේ වංශයෙහි සිඟා කෑ එක රජෙකුත් නැත. නුඹවහන්සේගේ ඒ වංශයෙහි එක මුතුන් රජකු සෙසු සම්පත් තබා බැණ නැඟි බස හා මහනෙල්මල් සුවඳ මුඛයෙන් සතරගව්වක් තැන් දිවෙ යි. එක් මුතුන් රජකු අහස බලා අත් පොලාපී කල ඒ කෙණෙහි දෙව්ලොව වෙවුල්වා සතිස් යොදනක් මානයෙහි දන පමණ කටි පමණ සත්රුවන් වැසි වැස පිය යි. එක් මුතුන් රජකු ගේ අමාත්‍යයන්ට ප්‍රසාද දෙමි යි කියා පතුල් දෙක ඉන් ඊ ගටාලු වේලෙහි චින්තාමාණික්‍යය සේ කැමැති කැමැති සම්පත් වැගිරෙ යි. මෙසේ මෙසේ වූ නුඹගේ වංශයෙහි තුන්ලක්‍ෂ සූතිස් දහස් පන්සිය එකානූවක් මා ඇතුළු වූ රජුන් අතුරෙන් නුඹ සේ සිඟා කෑ එක රජෙකුත් නැත. වංශ චාරිත්‍රයෙකැ යි මාගේ වංශයට හෙළා වදාළ සේක් නැ”යි කීහ.

එ කෙණෙහි ස්වාමිදරුවෝ “මහරජ, තාගේ මේ මහාසම්මත වංශය ය, මාගේ දීපඞ්කරාදි බුද්ධවංශය ය. ඒ මාගේ වංශයෙහි එක බුදු කෙනකුන් මවුකුස වසන කල පවා අසූරියන් ගෙයි පහන් නැඟුව මැනවැ යි නැත. එක බුදුකෙනකුන්ගේ ඇඟින් නික්මුණු රසින් දසදහසක් සක්වළ බබලා හිරු සඳු කදෝකිමියන්සේ නිෂ්ප්‍රභ කොට පී ය. එක බුදු කෙනකුන්ගේ ඇඟින් නික්මුණු රශ්මි මණ්ඩලයෙන් පස්විසි යොදුන් තැන් දිවාරාත්‍රියෙහි වෙනසෙක් නැත. මෙසේ මෙසේ ආනුභාව සම්පන්න වූ මාගේ වංශයෙහි හැම බුදුහු ම කුල ගම ගෙපිළිවෙලින් සිඟුවාහුමය. එසේ හෙයින් තාගේ රාජ වංශය ය. මාගේ සිඟන වංශය ය”යි බුද්ධවංශය සංක්‍ෂේපයෙන් වදාරා පියරජ්ජුරුවන් මුහුණ බලා අනර්ඝ වූ නිධානයක් ලත් පුතනුකෙනකුන් ඉන් අනර්ඝ වූ රුවනක් තෝරාගෙන පියා නන් දැක පළමුව දුටු සතුටු පඬුරට දෙන්නා සේ, තමන් වහන්සේගේ සද්ධර්ම නමැති නිධානයෙහි පිධානය හැර ගාථා නමැති රුවනක් දෙනු කැමැති ව;

උත්තිට්ඨෙ නප්පමජ්ජය්‍ය - ධම්මං සුචරිතං චරෙ,

ධම්මචාරි සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හි ච

යන මේ ගාථාවෙන් බණ වදාළ සේක. ඒ ගාථාව අසා රජ්ජුරුවෝ යෙළ දහසක් කෙලෙසුන් ගෙවා දහසක් නයින් සම්පූර්ණ වූ සෝවාන් ඵලයට පැමිණියාහු ය. නැවත බුදුහු;

ධම්මං චරෙ සුචරිතං - න නං දුච්චරිතං චරෙ,

ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හි ච - යි.

යන මේ ගාථාව වදාළ සේක. ඒ ගාථාවගේ කෙළවර අන්තාක්‍ෂරය හා සමග රජ්ජුරුවෝ සෙදැගැමි මාර්ගයට පැමිණියාහු ය.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ රාජවීථි මධ්‍යයෙහි දී ම මෙසේ බුදුන් අතින් බණ අස අසා සෝවාන් සෙදගැමි ව බුදුන් අතින් පාත්‍රය ගෙන විසි දහසක් රහතන් හා සමග බුදුන් රජගෙට වඩා ගෙන ගොස් මධුර වූ ආහාරයෙන් දන් වැළඳ වූහ. වළඳා අන්තයෙහි සතළිස් දහසක් නාටක ස්ත්‍රීහු දිව අවුදින් බුදුන් වැඳ එකත්පස්ව සිටියාහ. එ වේලෙහි ශුද්ධෝදන රජ්ජුරුවෝ යේළනියන්ට “පුතණ්ඩ, අවුදින් තෙපිත් බුදුන් දැක වැඳ ශෝක සන්හිඳුවා ගන්ව”යි කියා යවුවාහුය. එපවත් අසා යශෝධරා දේවි “තමන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ ඉතා ම දැඩියහ. තපසට යන්නාහු මට නො කියා පලා ගියහ. මම උන්ට පක්‍ෂපාත ව විසීම් නම්, උන්කෙරේ සබා වූ ගුණ රසයක් ඇතියෙම් නම්, ඔහු මාගේ ගෙට එති. ආ කල වඳිනෙම් වේ දැ”යි කියා නො ගියහ. ශුද්ධෝදන රජ්ජුරුවෝ මෙ පවත් බුදුන්ට සැල කළහ.

එ වේලෙහි බුදුහු “ඒ යශෝධරා දේවීන් පෙර සසර බොහෝ කලක් පක්‍ෂපාත ව ම ආ නියාව ත්, ඒ යශෝධරා දේවීන් මුල්කොට පාරමිතාවන් කුළුගත් නියාවත්, උන්ගේ ම සහායයෙන් පුත්‍ර භාර්‍ය්‍යාදී පරිත්‍යාග කොට දැන් ලොවුතුරා බුදු ව මුළුලොවට වැඩ කෙරෙමින් සිටියෙමි’ මා විසින් කෘතොපකාරයෙහි මුදුන් පැමිණි ය මනාවේදැ”යි යිත් සිතාලා බුද්ධාසනයෙන් පැන නැඟී “මහරජ! එ බැවින් යශෝධරාවන්ගේ ගෙට යම්හ. පාත්‍රය තෙපි ම ගණුව”යි පාත්‍රා ධාතූන් වහන්සේ දී ලා රජ්ජුරුවන් පළමුකොට ලා තමන් වහන්සේ සස්නෙහි වඩනාසේක් සැරියුත් මුගලන් අගසව් දෙදෙනා වහන්සේ ළඟට කැඳවා වදාරණ සේක් “මහණෙනි, මම රාගාදි කෙළෙස් මුහුදු පීනා ගොඩ දැක සිටියෙමි. ඒ යශෝධරා දේවි තව කෙලෙස් මුහුද ඇවිදිති. මා නැඟියා වූ තොටට පැන නැංග නුහුනුව ඒ මට සසර බොහෝ දුග් ගත. මා කෙරෙහි දීර්ඝ කාලයක් නො නැසී පැවැත්තා වූ මහත් වූ ප්‍රේම සමූහයන් ඇත්තීය. ඇය සසරින් ගොඩ නගාගන්නා තෙක් ඇගේ ම චරිතයෙන් ඇයම සන්තෝෂ කරවනු කැමැත්තෙමි. අද තමා සිත් සේ අඬා පියන ආස්වාදයක් නොලද්දී නම් මා කෙරෙහි ශෝකයෙන් ලය පැළී මියෙයි. මන් ආස්වාදයක් ලත් නම් මාගේ සසුන් වැද මහණව දාසක් බිසෝවරුන් හා සමඟ අමා මහ නිවන් දක්නීය. එසේ හෙයින් ඇය තමා සිත්සේ අඬා වැලප ශෝක නිවාගන්නා තෙක් කවුරුත් නො වළකව”යි වදාරාලා දේවීන්ගේ ශ්‍රී යහන් ගබඩාවට වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් සේක.

යශෝධරා දේවි එදා බුදුන් තමන්ගේ ගෙට වඩනා බැව් දැන පන්සියයක් පරිවාර ස්ත්‍රීන් හා සමඟ කෙස්වැටි කපා හැර කෂාපිළි පෙර ව බල බලා සිටියාහු ය. බුදුන් අවුදින් වැඩහුන් වේලෙහි සාරාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි ආවරණයක් නැති ව සමගින් දිවුවා වූ පෙව් වතුරු රඳවාගත නොහී ප්‍රේමයෙන් ම උමතු ව “මම ස්ත්‍රියකිම් වේ ද, මුන්වහන්සේ ලොවුතුරු බුදුවෙද්දැ”යි සිහි එළවාගත නො හී බුදුන්ගේ ශ්‍රිපාදමූලයට ගොස් මුලින් සිඳ හෙළූ රන්තලියක් සේ ශ්‍රීපාදමූලයෙහි වැටී බුදුන්ගේ දෙපය ගොප්මස අල්වාගෙන ශ්‍රිපාදය තමන් හිස්මුදුනෙහි තබාගෙන හඬ හඬා වැඳ ශෝක සන්හිඳුවා සිහි එලවාගෙන නැවත බුදුන් කෙරේ හා මයිලනුවන් කෙරේ හා උපන් මහා ලජ්ජාවෙන් විළි ඇති ව මා කෙළේ කිම් දෝ හෝ යි භය ඇති ව එකත් පස් ව හුන්නා ය.

සුදොවුන් රජුගේ නොමනාපය

ඒ වේලෙහි ශුද්ධෝදන රජ්ජුරුවෝ “මේ කිමෙක් දෝ හෝ යි මේ ලෝකයෙහි දෙවියෙක්, බඹෙක්, මරෙක්, රජෙක්, සිටෙක්, බමුණෙක් බුදුන් ඇඟ අතගාන්ට පොහොසත් වූ එක සතෙක් නැත ම යේළී ස්ත්‍රි ව සිට බුදුන්ගේ පය අල්වාපුව, එසේ හෙයින් බුදුන්ට අනාදර කළා ය, බුදුන් සිත කලකිරී ගියේ දෝ හෝ, ම යේළියව් පව් පිරී ගියේ දෝ හෝ‘යි සිතා “ඈ ක්‍ෂමා කරවමි”යි කියන්නාහු “ස්වාමීනි! මාගේ යේළනියෝ මේ යශෝධරාවෝ නුඹ වහන්සේ කෙරෙහි අධික වූ ප්‍රේම ඇතියාහු ය. නුඹවහන්සේට ඉතා පක්‍ෂපාත යා හු ය. නුඹවහන්සේ මහබිනික්මන් කළ දා නුඹ වහන්සේ ස්වහස්තයෙන් ඉසකේවැටිය කපාපීහ යි අසා තුමූ ද ලෙහි අත් ගසා හඬාගෙන මේ ශ්‍රීයහන් ගබඩාවට ම දිව අවුදින් උනාපී කල විළුඹ පැහැර තුන්පටෙකින් රැළි දි දී උඩ බලාසිට ගන්නා වූ අඳුන් රැසක්වන් හිසකේ වැටිය කරයක් බලා තමා සිය අතින් ම කපා දමාපුව. තව ද නුඹවහන්සේ කෂාකඩක් පෙරව ගත්හ යි අසා තොමෝ ද කශීසලු නො හැඳ මේ සත්හවුරුද්ද මුළුල්ලෙහි අද දක්වා තෙලෙ කෂාපිළිම ඇන්දීය.

තව ද නුඹවහන්සේ එක් වේලේ වළඳති අසා තොමෝ ද. මේ සත් හවුරුද්දෙහි අද දක්වා රෑ බතෙක රස නො දත්තී ය. තව ද නුඹවහන්සේ මැටිපාත්‍රයක් ගෙන සිඟති යි අසා තොමෝ ද මේ සත්හවුරුද්ද මුළුල්ලෙහි රන් වළඳින් නො කා මැටිපාත්‍රයෙකින් ම කෑව. තව ද: නුඹවහන්සේ උසසුන් මහසුන්වල නො සැතපෙති යි අසා තොමෝ ද මේ සත්හවුරුද්ද මුළුල්ලෙහි මහා යානාවෙක වැද නො හොත්තී ය. තව ද: නුඹවහන්සේ මල් සුවඳ නො පළඳිති යි අසා මේ සත් හවුරුද්ද මුළුල්ලෙහි තොමෝ ද මල් සුවඳ නො පැලැන්දී ය. තව ද: තමාගේ බොහෝ වූ නෑ රජදරුවන් අපි දකුම්හ. අපි රකුම්හ යි කියා වෙන වෙන ම බොහෝ පඬුරු එවුකල ගිවිස්නා තබා ඔවුන්ට තෙපුල් පමණකුත් නො දී නුඹවහන්සේට ම පක්‍ෂපාත ව විසුව. මෙසේ මාගේ යේළනියෝ නුඹවහන්සේට ම මහත් වූ ගුණ ඇතියහ. ඉතා ශික්‍ෂිත යහ ඇය නො දැන කළ වරද ක්‍ෂමා කොට වදාළ මැනවැ යි” කීහ.

ස්වාමිදරුවෝ වනාහි වෙස්සන්තර ජාතියෙහි බමුණාට බැඳ දෙන වේලෙහි ක්‍රිෂ්ණජිනා නම් ප්‍රිය දියණියන් තමන් වහන්සේගේ පය අල්වාගෙන හඬන වේලෙහි උපන් මහා කරුණා සේ ම දේවීන් කෙරෙහි ද පියකු පය අල්වාගෙන අඬන දුවක කොට සිතා උපන් මහා කරුණාවෙන් වැඩහුන් සේක් ම ය. කාරණ කිම ය යත්:-

පෙර සාරාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයකින් යට මාගේ බුදුන්ට පළමු වන විවරණ දුන්නා වූ දීපඞ්කර නම් බුදුන් සමයෙහි එම රම්‍යවතී නම් නුවර බහුධන කුලයෙක සුමිත්‍රා නම් කුල ස්ත්‍රියක් ඒ බුදුන් ගිහිකල අගමෙහෙසුන් වූ පදුමා නම් බිසවුන්ගේ අසූරියන් ගෙයි පාන් නොවන ශරීර ප්‍රභා හා රූපශ්‍රී දැක “මම ද මෙසේ වූ රූසිරි ලදිම් නම් මැනවැ”යි සිතා රූ ලබන පින් දනුමැතියන් අතින් විචාරා සිල් රක්‍ෂා කළ ස්ත්‍රී රූපයෙන් අග්‍ර වෙති යි අසා තොමෝ ද බොහෝ ධන හැර තවුස් වෙස් ගෙන පරිබ්‍රාජක ව සිල් රක්‍ෂා කරන්නී “මේ පිණින් මම මතු රූපයෙන් අග්‍ර ව එක්තරා එක් බුදු කෙනකුන් බුදුවන ජාතියෙහි මේ පදුමා නම් අගබිසවුන් සේ ම දහස් ගණන් ස්ත්‍රීන් පිරිවරා අගමෙහෙසින් වෙම්ව”යි පත පතා නොයෙක් කුසල් රැස් කරන්නා වූ ඒ පරිබ්‍රාජිකාවෝ එ දවස් මාගේ බෝධිසත්ත්‍වයන් විවරණ ලබන කාලයෙහි බුදුන් පෙර මඟට මල් ඇගෑ, පාන් ඇගෑ, බුලත් ඇගෑ, මල් තොරන්, පාන් තොණ, බුලත් තොරණ, මල්මිටි, මල්කඳ, සුවඳ කඳ, ගෙන පින් ලෝභයෙන් ඔවුනො‘වුන් පරයා දින මිනිසුන් දැක තුමූ ද මහනෙල් මල් අට කලඹක් මුදුනෙහි තබාගෙන බුදුන් පෙරමගට දිව, ඒ බුදුන්ගේ අසූරියන් බුදුබඳින් දිවන සවණක් රසින් හා, බුදුන් ගේ රූපශ්‍රී හා දෙතිස් අසූ ලකුණු දැක පිනා “මේ ලෝකයෙහි පින්වත් වූ ස්ත්‍රී නම් මෙ බඳු වූ ස්වාමියක්හට පක්‍ෂපාත වූ ස්ත්‍රියක් ම ය”යි කිය කියා බලන තෙනැත්තී පස්සෙහි වඩනා උසභක්ඛන්‍ධ නම් වූ පුත් මහතෙරුන් සඳුට අනු වූ නකත් තරුවක් සේ දිලියෙන්නවුන් දැක බුදුන්ගේ ශ්‍රී මුඛය හා පුතණුවන් වහන්සේගේ ශ්‍රී මුඛය හා එක්වැනි සේ බලා බුදුකෙනකුන් හා එක්වැනි වූ මෙ වැනි පුත්රුවනක් වදාපී ම බුදු කෙනකුන් ම වැදුවා වැන්න. මෙ සිරි මටත් වාසනා වේ ව”යි සිතූහ.

සෙස් ස්ත්‍රීන්ගේ රූප ශ්‍රී බලා මේ රූපශ්‍රී මටත් වේව යි සිතීම ද, පුරුෂයන්ගේ වික්‍රම බලා මේ පුරුෂයා මට වල්ලභ වේව යි සිතීම ද. අනුන් දරුවන්ගේ සුරතල් බලා මෙ බඳු දරුසිරි මටත් වේව යි සිතීම ද, සියලු ස්ත්‍රීන්ගේ ස්වභාව ධර්මයෙක් ම ය.

ඒ කාරණයෙන් යට කී සේ සිත සිතා බුදුන්ගේ ශ්‍රි බල බලා පුත් මහතෙරුන් එන ලීලා බල බලා පදුමා නම් බිසවුන් ලද දරු සිරි සිත සිතා දෝත් මුදුන් දී බුදුන් වැඳ එන්නාවූ ඒ පරිබ්‍රාජිකාවෝ සුවන් මේ කඳුරෙහි දී දිවි දී වැදහොත් බෝධිසත්ත්‍වයන් දැක “මේ සුමේධ තාපසයෝ මහණෙනි! මතු ගෞතම නම් බුදුවෙති”යි කියා පෙර කී සේ බුදුන් වදාළ විවරණ කථා අසා “මාගේ ප්‍රාර්ථනාව අද මේ වීරපුරුෂයා නිසා ඒකාන්තයෙන් සිද්ධ වේ ම ය”යි එම විට ම බෝසතුන් කෙරෙහි ප්‍රේම බැද තමා ගෙන යන මහනෙල් මල් අටකබලින් පස් කලබක් ගෙන, තෙල පිනින් පස්මරුන් බින්ද මැනවැ යි කියන්නා සේ බෝසතුන් නමට පුදා; මතු තුන් පායෙහි එක් ව සුව විඳීමට කාරණ පානා සේ තුන් කලබක් තමන් නමට පුදා; “මේ ස්වාමීහු මතු බුදුවන කල් දක්වා මොහු සිත් සේ වාසය කොට මොහු බුදුවන ජාතියෙහි මේ බුදුන් දැන් විවරණ කථාවෙහි වදාළ යශෝධරා නම් අගබිසෝ තනතුරු මට ම ලැබේව යි, තව ද මෙම බුදුන් වදාළ රාහුල නම් පුත්රුවන මාගේ කුසින් ම වදා දෙම්ව”යි මෙසේ තුන්යළක් පැදකුණුකොට ප්‍රාර්ථනා කළාහුය. මුයෙන් නො බැණ ඉවසූයෙන් මා කළා වූ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් සිද්ධ වේ ම ය යි අතිශයින් සතුටු වූ ඒ පරිබ්‍රාජිකාවෝ නම් දැන් මේ යශෝධරා දේවීම ය. සෙසු අසූමහ සවු-අගසවු ආදී වූ මහාශ්‍රාවකයෝ පවා කප් ලක්‍ෂයක් හෝ එකාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයක් හෝ පැරුම් පුරා ආවාහුය.

යශෝධරාවන් පෙරද පක්‍ෂපාතව ආ බව

බුදුහු යශෝධරාවන්ගේ ගෙට වැඩමවීම

මේ යශෝධරා දේවී දුරේ නිදානයෙහි දී ම ප්‍රාර්ථනා කොට මේ සාරාසඞ්ඛ්‍යය කප් ලක්‍ෂය මුළුල්ලෙහි බුදුන් හා සමග බුදුන් අත් නො හැර බුදුන්ට පක්‍ෂපාත ව ම ආවාහු ය. මේ බුද්ධශාසනයෙහි මේ යශෝධරා දේවීන්ට වඩා හේතුසම්පත් ඇති ව බුදුන් හා එක්ව පින්කළ කෙනෙක් අනෙක් කිසිකෙනෙකුන් නැත්මය. මේ මේ කාරණයෙන් මාගේ ස්වාමිදරුවෝ ඒ පන්සාළිස් හවුරුද්ද මුළුල්ලෙහි දෙවියකු-බඹකු අතගාපිය නුහුනුවාවූ ඒ ශ්‍රීපාද නමැති පියුම් දෙක ස්ත්‍රීව සිට ඒ යශෝධරා දේවීන් අල්වාගත් වේලෙහිත් මේ පූර්වචරිත පරීක්‍ෂා කොට උදාර වූ කරුණාවෙන් ම වැඩහුන් සේක් ම ය.

තව ද: සසර ඇවිද අසඞ්ඛ්‍ය ගණන් කල් හැර මාගේ බුදුන් බුදුවන මෙම කප උදයභද්ද ජාතකයෙහි ලෝකාලෝකා දිවාකර වූ මාගේ බෝසතාණන් වහන්සේ උදය නම් රජ ව දශ රාජ ධර්මයන් පූරණය කළ සමයෙහි කනක රූපයක් වැනි වූ ස්ත්‍රී රූපයෙන් සත්සියයක් හවුරුදු එක යානේ සැතපී එක දවසෙකත් බ්‍රහ්මචර්‍ය්‍යාවට අන්තරායක් නො කොට අප දෙදෙනා අතුරෙන් පළමු ව මිය පරලොව ගිය කෙනෙක් අවුදින් උපන් තැන් කියම්හ යි ප්‍රතිඥා කොට පළමු ව බෝසතාණන් වහන්සේ මිය ශක්‍රදේවේන්‍ද්‍රව ඉපද පෙර කළ ප්‍රතිඥාවෙන් මිදෙමි යි තමන් වහන්සේගේ සිල්වත් කමත් පරීක්‍ෂා කෙරෙමි යි ලක්‍ෂයක් අගනා රන් තලියක් අනර්ඝ වූ ඝනරනින් පුරා අත්ලෙහි තබාගෙන මධ්‍යම රාත්‍රියෙහි සඳල්ලට බැස:

“එකා නිසින්නා සුචි සඤ්ඤතූරු

පාසාදමාරුය්හ අනින්‍දිතඞ්ගි

යාචාමි තං කින්නරනෙත්තචක්ඛු

ඉමෙ‘කරන්තීං උභයො වසෙම”යි.

යනාදීන් කියා ඔවුන්ගේ සිවුසැටක් පමණ ස්ත්‍රී ලක්‍ෂණයන් වර්ණනා කොට කියන්නාහු, තොපගේ දිගු පුළුලැ‘ස් නමැති නිලිපුලින් හා, දත් නමැති කොඳ කැකුළින් හා මුඛ නමැති පද්මයෙන් මාගේ කාම නමැති කෞමුදයන් ප්‍රබෝධ කරව, සොඳුර, දෙදෙව්ලොව දෙවියන්ට අධිපති ව සක්දෙව් රජ නම් මම ය. මාගේ අඩු තුන් කෙළක් පුරඟනන් හැර තොප ම කෙරේ ලෝභයෙන් අයිමි. තොප සමණන් මළගෙයින් තොපට පරදාරය ද නැත. මේ ලක්‍ෂයක් අගනා ඝනරන් හා ලක්‍ෂයක් අගනා ඝනරරන් තලිය තොපට පණයම නිසා දෙමි. අද මේ එක රැයට මට අවසරයක් දෙවයි කී වේලෙහි “දිව්‍යරාජයකු වේව යි මනුෂ්‍ය රාජයකු වේව යි මාගේ ස්වාමීන් උදය නම් රජ්ජුරුවන් හැර අන්‍ය සත්ත්‍වයකු ප්‍රාර්ථනා නො කෙරෙමි. ශක්‍රය! තෝ අනෙක් දවසෙක මේ දිශාවෙහි නො අවුත් මා කෙරෙහි ආලය හරැ”යි සිංහ ගර්ජනා කොට ශක්‍රයා යවා, දසදහසක් හවුරුදු මුළුල්ලෙහි පතිව්‍රතා ධර්මය මළ සමණන් වහන්සේ නමට රක්‍ෂා කළා වූ ඒ උදයභද්ද දෙවි නමුදු දැන් මේ යශෝධරා දේවී ම ය.

ඒ ඒ ජාතකවලදී පක්‍ෂපාත බැව් පැවසීම

තව ද: දශරථ ජාතකයෙහි ත්‍රිභූවන චූඩාමාණික්‍ය වූ අපගේ මහබෝසතාණන් රාම නම් රජ ව දිව්‍යලෝකයට නැඟි අසුරයන් පවා යුද්ධයෙන් ජයගෙන මහත් වූ වික්‍රම දක්වා මිනිස්ලොවට බැස දඹදිව දශ රාජධර්මයන් රාජ්‍යය කොට ශෝක කිරීමෙහි ආදීනව ලෝවැසියන්ට දක්වා ලෝවැඩ කළ සමයෙහි සොළොස් දහසක් හවුරුදු මුළුල්ලෙහි අඛණ්ඩ වූ පතිව්‍රතා ධර්මය රක්‍ෂා කළ ඒ සීතා නම් දේවි නමු දු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: චම්පෙය්‍ය ජාතකයෙහි කරුණා නිධාන වූ අප මහ බෝසතාණන් චම්පෙය්‍ය නම් දිව්‍ය නාගරාජන් ව නාග භවනයෙහි දී සිල් රක්‍ෂා කළ නො හැකි හෙයින් මනුෂ්‍ය ලෝකයට එකලා ව අවුදින් පෙහෙවස් ඉටා නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ය. අධිෂ්ඨාන පාරමිතාවය, ක්‍ෂාන්ති පාරමිතාව ය, ශිලපාරමිතාව ය යන පාරමිතාවන් සතර දෙනාගේ මුදුන් දුටුවා වූ සමයෙහි අහිතුණ්ඩිකයා අතට සම්ප්‍රාප්ත ව තිස් දවසක් මුළුල්ලෙහි ගොදුරු නො ලදින් නිරාහාරයෙන් මහ දුක්ගන්නා දා තුමූ සොළොස් දහසක් නාගාඞ්ගනාවන්ට නායක ව, නාගභවනයෙහි සමණන් වහන්සේ නො දැක උපන් මහා ශෝකයෙන් එකලාව ම නික්ම ඉස අත තබාගෙන හඬ හඬා නම් සලකුණු බල බලා සමණන් වහන්සේ ගෙනගිය මඟ නො වරදවා ගොස් රජ පිරිස් මැද කෙළවන්නා දැක, රජහු බල බලා සිටිය දී මහ හඬින් හඬ හඬා වැලප ඒ හා රජපිරිස විස්මය පත් කරවා සමණන් වහන්සේ වු පරිදි ත්, තමන් වූ පරිදිත්, රජහට කියා රජු පහදවා ගෙන බෝසතුන් ගලවා නාග භවනයට ම ගෙන ගොස් මෙසේ බොහෝ කලක් ඔවුනොවුන් කෙරෙහි කරුණා ඇති ව එක්වම දිව්‍යශ්‍රීන් හුන්නා වූ එ සමයෙහි ඒ සුමනා නම් අගදේවී නමු දු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: ජයද්දිස ජාතකයෙහි කරුණා ප්‍රවාහ වූ අප මහ බෝසතාණන් අලීභසත්තු නම් රාජකුමාර ව පියමහ රජ්ජුරුවන් මාරුවෙහි ජීවිතය පූජා කොට, පිතුපට්ඨාන ධර්මයෙහි කෙල පැමිණියාවූ සමයෙහි, පෝරිසාද නම් මිනිස් යකුට බිලියටම ගිය දා මම මාගේ ස්වාමීන්ට ඒකාන්තයෙන් පක්‍ෂපාත වීම් නම් පතිව්‍රතා ධර්මය රක්‍ෂා කෙළෙම් නම් ඒ සබවස හේතුකොට ගෙන සමණන් වහන්සේට ඒ යක්‍ෂයාගෙන් අද කිසි උපද්‍රවයෙක් නො වේව යි සත්‍යක්‍රියා කොට තමන් කළ සත්‍යක්‍රියා බලයෙන් ම එදා බෝසතුන් යක්‍ෂයා කෙරෙන් ගලවාගෙන බොහෝ දවසක් එක්ව රාජ්‍යය කළා වූ ඒ අගමෙහෙසුන් දේවී නමුදු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: චුල්ලසුතසෝම ජාතකයෙහි කරුණා නිධාන වූ අපමහ බෝසතාණන් සුතසෝම නම් රජ ධර්මයන් පුරා පළමුවන නරය දැක මරණය දිව අවුදින් පෙරට ව සිටියා සේ භය ඇති ව. අනිත් ලකුණු උපදවා සියලු සතුන් අනිත්‍යයෙහි පිහිටුවා රාජ්‍යය හැර ගොස් මහණ ව නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව හා ශීලපාරමිතාව හා දෙක අළලාපු සමයෙහි සමණන් වහන්සේ නැති රාජ්‍යය මට ඇයි දැ යි දැරි ඇති බඩින් අමාත්‍යයන් රඳව රඳවා සොළොස් දහස් සත් සියයක් බිසෝවරුන් හා සමඟවල් ගොස් මහණ ව මහණ වූ පසු දරුවන් වදා, ඒ දරුවන් දෙවනුව රාජ්‍යයට එවා, බොහෝ කලක් බෝසතාණන් වහන්සේගේ සිල් රක්‍ෂා කළ ඒ චන්‍ද්‍රා දේවී නමුදු දැන් මේ යශෝධරා දේවීම ය.

තව ද මහාජන ජාතකයෙහි කරුණා ආකර වූ අප මහ බෝසතාණන් මහජනක නම් රජ ව මුළු දඹදිව රාජ්‍යය හැර තපසට නික්මුණු සමයෙහි සිවුරඟ, සෙන් සමග පසුපස්සෙහි ගොසින් නොයෙක් ලෙස යාච්ඤාකොට රඳවා ගත නොහී මග අවුරා වැඳගෙන හඬා, ශ්‍රාන්ත ව මුසපත් ව, වැදහොත් අවස්ථාවෙහි බෝසතුන් සොරා පලාගිය කල ආ ගිය අතක් නො දැක බෝසතුන් හා සමග තමන් කථාකළ කළ තෙන, නැවතුනු නැවතුනු තෙන, බෝසතුන් සිටි සිටි තෙන, දාගබ් බඳවා, නැවත නුවරට අවුදින් පුතණුවන්ට රාජ්‍යය පාවා දී තුමූ ඉසකේ කපා මහණ ව සමණන්දකිම්ව යි පතමි යි කිය කියා බොහෝ දවසක් සිල් රක්‍ෂා කළා වූ ඒ සීවලී නම් දේවී නමුදු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: ඛණ්ඩහාල ජාතකයෙහි ලෝකාධිපති වූ අප මහ බෝසතාණන් චන්‍ද්‍ර නම් රාජකුමාර ව ඛණ්ඩහාල නම් දේවදත්තයාගේ ප්‍රයෝගයෙන් යාගාවාටයෙහි බැඳගෙන මරා යාග කරම්හයි අල්වාගත් දා, තමන් කළ සත්‍යක්‍රියා බලයෙන් ශක්‍රභවනය කම්පා කොට ශක්‍රදේවේන්‍ද්‍රයා ගෙන්වා, ඔහුගේ අනුබලයෙන් සමණන් වහන්සේ ගලවා ගත්තා වූ ඒ චන්‍ද්‍රා නම් දේවී නමුදු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: මණිචෝර ජාතකයෙහි ලෝකාලෝක දිවාකර වූ අප මහ බෝසතාණන් සිටුකුලයෙහි ඉපද දැහැමෙන් වැස දවසෙක රථාලඞ්කාරයකට පැන නැඟී දෙමහල්ලන් රාජවීථි මධ්‍යයෙන් යන වේලෙහි ස්ත්‍රී ලෝභයෙන් චූඩාමාණික්‍යය රථයෙහි සඟවා බෝසතුන් සොරා මරවා මොහු මැය අගමෙහෙසින් කෙරෙමි යි සිතා බරණැස් රජහු බෝසතුන්ට වධ යොදාපු වේලෙහි තමන් කළ සත්‍යක්‍රියා බලයෙන් දෙව්ලොව වෙවුල්වා දෙවියන් එතෙනට ගෙන්වා, දෙවියන් ලවා බෝසතුන්ට පැමිණි වධ රජහට පමුණුවා රජහට පැමිණි රාජ්‍යය බෝසතුන්ට පමුණුවා, තුමූ ද අගමෙහෙසුන් ව බොහෝ කලක් ප්‍රිය වාසයෙන් විසූ ඒ පතිව්‍රතා දේවී නමුදු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: අනනුසෝචිය ජාතකයෙහි ත්‍රෛලොක්‍ය චින්තාමාණික්‍ය වූ අප මහ බෝසතාණන් බමුණු මහසල් කුලෙහි ඉපිද නිධාන කොට තුබූ අසූකෙළක් ධනය හැර තපසට ගිය සමයෙහි තුමූ ද අසා මහත් සැපත් හැර බෝසතුන් හා එක්ව ම ගොස් එක්ව ම මහණ ව ඔවුනොවුන් සානුරාගයෙන් ඇස දල්වාත් බලා නො පියා එක පන්සලෙහි වැස බොහෝ කලක් පරිශුද්ධ ශීලය රක්‍ෂා කළා වූ ඒ පරිබ්‍රාජිකාවෝ නමු දු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: විසය්හ ජාතකයෙහි ලෝකාලෝක නිසාකර වූ අප මහ බෝසතාණන් විසය්හ නම් ධන සිටු ව දඹදිව සියලු යාචකයන් රැස්කොට මහදන් වතුරු දී නැතැයි යන බසක් දිවග නොවකා දාන පාරමිතාවෙහි කුළුගත්තා වූ සමයෙහි, සියලු සැපත් දන් දී ක්‍ෂය ව ගිය කල කඳක් හා දායක් ගෙන තණ දා ගෙනවුත් තණ වෙළඳාම් කොට ලද දෙයෙකින් තුමූ ද රැකී යාචකයන්ට ද නැතැයි නො කියා දන් දි, පස් දා සදා දන් නිසා ම සයින් හිඳ දනෙහි ම නොපසු බැස දුක් ගන්නා කල පවා එක දවසෙකුත් කුසීකමක් නැති ව බෝසතුන් හා එක් සිත් ව බොහෝ කලක් පින් රැස් කළා වූ ඒ සිටු දේවී නමු දු දැන් මේ යශෝධරා දේවීම ය.

තව ද: සුචි ජාතකයෙහි ප්‍රඥාසාගර වූ අප මහ බෝසතාණන් ස්වර්ණාකාර ව ඉපද සූක්‍ෂ්ම වූ කර්මාන්තයෙන් ලෝකය විස්මය පත්කොට “කඹුරු බොරුවෙහි ඉදිකටු වික්කා සේ” ය යි යන මේ ව්‍යවහාරය ද ලොව උපදවා ප්‍රඥා පාරමිතාව කුළුගෙන පූ සමයෙහි ස්වර්ණකාර ජ්‍යෙෂ්ඨයක්හට දූ ව දවසෙක බෝසතුන් දැක ප්‍රිය කතා කොට පියාණන් හාද කරවා බෝසතුන්ගේ වික්‍රම දක්වා ඒ වික්‍රමයෙහි ප්‍රසන්න වූ පියාණන් තමන් ශරන පාවාදුන් කල බොහෝ කලක් ප්‍රියවාසය කොට එ කල ඒ සා සැපතක් ගෙන දී ලූවා වූ ඒ ස්වර්ණකාර දේවී නමු දු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: මනෝජ ජාතකයෙහි ශාක්‍යසිංහ වූ අප මහ බෝසතාණන් සිංහරාජ ව ඉපද ස්වර්ණ ගුහාවෙහි වාසයකරන කල පවා බෝසතුන්ට දරු දෙදෙනෙකු ලදින් ප්‍රේම සහිත ව විසූ ඒ සිංහ දෙන නමු දු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: මහාසුසීම ජාතකයෙහි සංසාර සෙතු වූ අප මහ බෝසතාණන් සුසීම නම් පුරෝහිත බ්‍රාහ්මණ ව පුරෝහිත ධර්මයන් පූරණය කොට රජහට අනුශාසනා කරන සමයෙහි දවසෙක මහ පෙරහරින් වීථි මධ්‍යයෙහි යන බෝධිසත්ත්‍වයන් ඒ රජ්ජුරුවන් මෑණියෝ සිංහපඤ්ජරයෙන් දැක බෝසතුන් කෙරෙහි ප්‍රේම බැඳ අනුන්ට කියන්ට ලජ්ජා ව මෙ වැනි පුරුෂයක්හු නො ලදිම් නම් මට ජීවිතයෙන් කම් නැතැ යි යහන් මතුයෙහි නො කා නො බී හොත්හ; පුතණුවෝ මෑණියන් ලෙඩහ යි අසා ඇතුළට වැද මෑණියන් දැක විචාරා තමන්ට නො කියන හෙයින් නැවත අවුදින් පරිවාර ස්ත්‍රීන් ලවා මායමින් විචාරවා තත්ත්‍වය දැන පුරෝහිතයන් ගෙන්වා “ආචාරීනි! මා කෙරෙහි ප්‍රේම ඇතියා නම් අනෙක් බසක් නො කියව” යි බෝසතුන් නො කැමැති කරවා ම වොටුනු පළඳවා රාජ්‍යය පාවා දී මෑණියන් ද අමෙහෙසින් කොට තුමූ යුවරජ වූහ.

එකල බෝධිසත්ත්‍වයෝ රාජ්‍යය කෙරෙති. රජ්ජුරුවන් මෑණියෝ සොළොස් දහසක් ස්ත්‍රීන්ට නායක ව බෝසතුන් කෙරෙහි බහුමානයෙන් වෙසෙති, බෝසතුන්ට නර නැත, බාලයහ. බිසවු මැහැල්ලහ. නර ඇත. එක් දවසෙක බිසවු බෝසතුන් ඉස බලන පසාරයෙන් ඉස බල බලා හුන්නාහු මේ රජ තමා බාල හෙයින් මා මැහැලි හෙයින් කරුණා මද වී නම් නපුර, මොහු ගේ කරුණා වඩවා ගනිමි‘යි සිතා තමන් ඉසින් නරකෙසක් කඩාගෙන බෝස තුන් අල්ලෙහි ලා ‘ස්වාමීනි, තොප ඉස නර බලව, තොප ඉස ත් නර ය. මා ඉස ත් නර ය. තෙපි ත් මහල්ලව, මම ත් මැහැල්ලෙමි. මෙ තැන් පටන් මා මැහැල්ලෙහි යි නො සිතව, හිමි මට ම ප්‍රේම කරව’යි කීහ. එ වේලෙහි බෝධිසත්ත්‍වයෝ නරකෙස දැක අනිත් ලකුණු උපදවා “මරණය මා කරා දූතයකු එවී ය. මා උපේක්‍ෂා වනු නො යෙදෙයි, තපසට වලට දැන් ම යෙමි”යි නික්මුණු දෑ ය.

එ වේලෙහි බිසවු මා කළ සොරකම මට සහය ගසාපීය යි වියෝදුකින් වෙව්ලා හිමි තොප ඉස නරයෙක් නො වෙයි. මා ඉසින් කඩාගත් නරය ය. තොප කෙරෙහි ප්‍රේමයෙන් බොරු කීමි. තෙපි තව බාලයව. ඉතා ළදරුවා තපසට නො යව’යි බෝසතුන් වැඳ දෙපය ගත්හ. එ වේලෙහි බෝසතාණෝ ‘තොප කියන්නේ බොරු ය. මා ඉස නරම ය යි කියා නො ගිවිස රාජ්‍යය හැර එම දා ම වලට ගොස් මහණ ව බොහෝ කලක් ශීලපාරමිතාව පිරූ දෑ ය. දෙවි ද මහත් වූ ශෝක කොට බෝසතුන් ගියතැන් පටන් බෝසතුන් නමට ම පතිව්‍රතා ධර්මය රක්‍ෂා කළාහු ම ය. එ කල ඒ රාජමාතෘ වූ අගමෙහෙසින් දේවී මෙකල මේ යශෝධරා දේවීම ය.

තව ද: කුම්මාසපිණ්ඩ ජාතකයෙහි අනන්ත ගුණ සාගර වූ අප මහ බෝසතාණන් කොමුපිඩක් දන් දුන් කුශලයෙන් කුම්මාසපිණ්ඩු නම් රජ ව ජාති දන්නා නුවණ ලදින් මහත් වූ දානපරිත්‍යාගකොට ලෝවැඩ කරන සමයෙහි තුමූ ද එම පින් බලයෙන් ජාතිස්මරණ ඥානලදින් කිරිවත්කළ සක ඔවුනොවුන්ගේ ප්‍රභාවයෙන් ජ්‍යොතිෂ්මත් වූවා සේ බෝසතුන් හා සම වූ සැදෑ සිත් ඇති ව, ‘ස්වාමීනි, එක බත් පිඩකත් යාචකයන්ට නො දී නොකම්හ’හි ඔවුනොවුන්ට ප්‍රතිඥා කොට පින් රැස්කළා වූ ඒ අග මෙහෙසින් දේවි නමුදු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: ගඞ්ගාමාල ජාතියෙහි අර්ධ පෝය පමණකුත් සිල් රක්‍ෂා කිරීමෙහි ආනිසංස දැක් වූ සකලලෝක කිරීම වූ අප මහ බෝසතාණන් බරණැස් රජය කොට මහත් පින් රැස්කළ සමයෙහි සොළොස් දහසක් ස්ත්‍රීන්ට නායක වූ අගමෙහෙසුන් බිසෝ ව ක්‍ෂීර සාගරය හා චන්‍ද්‍රකාන්තිය එක් ව ප්‍රභා සම්පන්න වූවා සේ බෝසතුන් හා එක් සිත් ව පින් රැස් කළා වූ ඒ දේවී නමුදු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: ආදිත්‍ය ජාතකයෙහි සමන්ත භද්‍ර වූ අප මහා බෝසතාණන් භරත නම් නරෙන්‍ද්‍ර ව සමන් මල් දූතයන් උතුරු හිමාලයට යවා පසේබුදුන් වඩා ගෙන්වා මහත් වූ දාන පරිත්‍යාග කොට කුශල නිධානයන් රැස්කළ සමයෙහි සොළොස් දහසක් ස්ත්‍රීන්ට නායක වූ අගමෙහෙසින් බිසෝ ව කිරිමුහුද පෙණීගිය රිදී පව්වක් එක වර්ණයෙන් දිලියෙන්නා සේ, බෝසතුන් හා එක්වැනි සැදෑ සිත් ඇති ව පින් රැස් කළාවූ ඒ සමුද්‍රා විජයා නම් දේවි නමුදු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: චුල්ලබෝධි ජාතකයෙහි ලෝකාචාර්‍ය්‍ය වූ අප මහ බෝසතාණන් බ්‍රාහ්මණ මහාසාර සැපත් හැර වල් ගොස් මහණ ව ක්‍ෂාන්ති පාරමිතා කුළුගත් සමයෙහි තුමූ ද සමඟ ව වල් ගොස් මහණ ව එකච්ඡන්‍දිත ව තපස් කොට, බරණැස් රජහු තමන්ගේ රූප ශ්‍රී දැක ලෝභයෙන් බෝසතුන් බල බලා හින්ද දී බලාත්කාරයෙන් රජගෙට ගෙන ගොස් නොයෙක් ප්‍රකාරයෙන් ශීලභේදයක් කොටගත නො හී තමන් කෙරෙහි ප්‍රසන්න ව නැවත බෝසතුන්ට පාවා දී ගිය කල ද එතැන් පටන් දස හවුරුද්දක් මුළුල්ලෙහි රජත භාජනයෙහි කිරින් පිරූ කල නිර්මල වූවා සේ බෝසතුන් හා සමග නිර්මල ශීලය එක ස්ථානයෙහි වැස අඛණ්ඩ කොට රක්‍ෂා කළා වූ ඒ සම්මිල්ල භාසිනී නම් පරිබ්‍රාජිකාවෝ නමුදු දැන් මේ යශෝධරා දේවීම ය.

තව ද සුපත්තජාතකයෙහි පරදුඃඛ දුඃඛිත වූ අප මහ බෝසතාණන් සුපත්ත නම් රිටු රාජන් ව බරණැස වාසය කරන සමයෙහි බරණැස් රජුගේ අග්‍ර භෝජනයට දොළෙමි යි කී කල කපුටුව ඉපද පවා එ දොළ පසිඳ බෝසතුන්ගෙන් උපකාර ලදින් එකල ප්‍රේමයෙන් විසූ සුඵස්සා නම් රිටුධෙනු නමුදු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: චන්‍දකින්නර ජාතකයෙහි ලෝකාචාර්‍ය්‍ය වූ අප මහ බෝසතාණන් හිමාලය වෙනෙහි සඳකිඳුරු ව ඉපද නන් වැලිතලාවල සැතපි සැතපී, නන් මල් පැලඳ පැලඳ දොළවල කෙළි කෙළ මිහිරි දියකඳුරුවලින් පැන් බිබී ඇවිදිනා සමයෙහි බරණැස් රජු කින්නරාඞ්ගනාවන් කෙරෙහි කළ ලෝභයෙන් බෝසතුන් විද හෙලාපියා, සොඳුර! බරණැස් නුවර පිළියක් රජු නම් මම ය. තී කෙරෙහි කළ ලෝභයෙන් තෙල සඳකිඳුරා මරාපීමි. තෙලෙ තිරිසනු නීච කුමට ද? මා හා සමග වර. සොළොස් දහසක් පුර ස්ත්‍රීන්ට තී ම අගමෙහෙසින් කෙරෙමි’යි කියා රජු කැඳවාලූ වේලෙහි ඔහු කියන ප්‍රේම බස් තමන් කණ යහුල් බානා සේ සිතා එ තෙනින් දිව පසුව. රජහු පලා ගියකල මළ සමණන් වඩාගෙන පර්වතයක් මුදුනට නැගී කොළ ඇතිරියක් අතුට සෙමෙන් සෙමෙන් එහි සතපා බෝසතුන් හිස තමා ඔර තබාගෙන දෙපය දිගු කොටලා පවතවන් ලියයක් සේ වැනි වැනි වන දෙවියන් අයද තමා ලෙන් පැනනැගී ශෝකාග්නියෙන් ශක්‍රයාගේ භවනය හුණුකොට එ තෙනට ඔහු ගෙන්වා ඒ ශක්‍රයාගේ ආනුභාවයෙන් බෝසතුන්ගේ ජීවිතය රක්‍ෂාකොට එ තැන් පටන් ඒ සඳ නම් පර්වතයට පැන නැගී බොහෝ කලක් ප්‍රියවාසය කළා වූ ඒ සඳ නම් කින්නරාඞ්ගනාවෝ නමුදු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: උම්මග්ගජාතකයෙහි පැණසර වූ අප මහා බෝසතාණන් මහෞෂධ නම් මහ පඬි ව නුවණ පාරමිතා නමැති ලිය යශසමල් ගන්වාපු සමයෙහි ඒ සා සැපත් ඉපදවීමෙහි අනුබල ව පතිව්‍රතා ධර්මය රක්‍ෂා කළා වූ, සේනකාදි පණ්ඩිතවරුන් සතර දෙනා අනර්ඝ වූ රුවන් ගෙන තමන් කරා ගිය දා ද. ශීලභේදයක් නොකොට තමන්ගේ නුවණ බලයෙන් පරාක්‍රම පෑවාවූ, රක්‍ෂා කරන දා තමන් පරීක්‍ෂා කෙරෙමි යි දහසින් බඳ පියලදි දී චරපුරුෂයන් යවු වේලෙහි “මේ මසු දහස නම් මාගේ ස්වාමිහුගේ පාද රජසකු ත් නො වටනේ ය”යි කියා සිංහනාද කොට පතිව්‍රතාව නො බින්දා වූ, උළුකැන් බත කැවුම් බිමට දමා තුණ එක්කොට එයින් මිරිකා තමන් හිස පටන් සර්වාඞ්ගයෙහි ගල්වා අව්වේ සිටුව යි කියා තමාගේ ක්‍ෂමා පරීක්‍ෂා කළ වේලෙහි පවා දොම්නස් සිතකින් බෝසතුන් මුහුණ බලා නො පුවාවූ, එ කල ඒ අමරාදේවී නමුදු දැන් මේ යශෝධරා දේවී ම ය.

තව ද: මහාවෙස්සන්තර ජාතකයෙහි දාන ප්‍රවාහ වූ අප මහබෝසතාණන් වෙස්සන්තර නම් රජ ව දාන පාරමිතා නමැති මහා ප්‍රාසාදයෙහි කොත් පළඳවාපු සමයෙහි රජය හැර තපසට වංකගිරි පර්වතයට නික්මුණු වේලෙහි ක්‍රිෂ්ණ ජිනාවන් වඩාගෙන ජාලිය කුමාරයන් ඇඟිල්ල අල්වාගෙන තුමූ පළමුව නික්ම රථයට පැනනැගී ‘වහා වැඩිය මැනව! ස්වාමීනි’ කියාලා ආපස්ස බල බලා සිටියා වූ, රාජසුඛුමාලයෙන් වැඩී තිස් යොදුන් මග ගෙවා බෝසතුන් හා සමග නු කුසීතව ම ගියාවූ; තවද වංකගිරි පර්වතයෙහි දී සත්මසක් මුළුල්ලෙහි බෝසතුන් පන්සලින් පිටතට යා නො දී ස්ත්‍රී ව සිට වෙනෙහි ඇවිද අල මුල් කලන් සාරා ඵලාඵල පැස් පුරා තමන් ඉසින් ඇද පක්‍ෂපාතව ම අත්පා මෙහෙ කළාවූ;

නැවත ජූජක නම් බමුණාට දරුදෙදෙනා බැඳ දන් දුන් දා තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි ඒ සා වන ය තුන්යලක් සිසාරා ඇවිද දරුදෙදෙනා නො දැක දණ්ඩෙන් ගැසූ කිකිළියක සේ දිම අවුදින් පාපිට වැටී හී මුසපත් වූ වේලෙහි ‘මද්‍රිෙද්වි එකලාව මේ වන මැද මිය ගියෝ දෝ හෝ’ යි යන ශෝකයෙන් හුනස්නෙන් පැන නැගී කමඬලාවෙන් පැන් මුහුණට ඉස ඔර ඉස තබාගෙන බෝසතුන් තමන් හදවත අල්වාලු වේලෙහි බෝසතුන්ගෙන් මේ ආස්වාදය ලදින් ගිනිකඳෙක ඇල්පැන් නැමුවා සේ සෝගිනි නිවාගෙන එ කෙණෙහි මම තපස්වීම් වේ දැ යි සිතා පැන නැගී “හිමි ම දරුවෝ කොයි දැ”යි කී කල සොඳුර දිළින්දක්හට දන් දිනිමි. පින් අනුමෝදන් වේව යි කී බස හා සමග මේරු මන්‍දරාදීන් එකවට වෙවුල්වා තුන් යළක් සාධුකාර දුන්නාවූ; නැවත එම වේලෙහි ම සක්දෙව් රජහු බමුණු වෙස් ගෙන අවුදින් ‘හිමි තෙල මද්‍රිදේවීන් මට ද දන් දෙව’යි කී කල බෝසතුන් තමන් මුහුණ බැලු බැල්ම හා සමගම හිරුරැස් දුටු පද්මයක් සේ සන්තෝෂයෙන් පිරුණා වූ තමන් මුහුණින් බෝසතුන් මුහුණ බලා සිනාසි:

කොමාරිකස්සාහං භරියා - සාමිකො මම ඉස්සරො,

යස්සිච්ඡෙ තස්ස මං දජ්ජා - වික්කිණාතු හනාතු වා-යි.

යන මේ ගාථාවෙන් ප්‍රීති සිංහනාද කොට ‘ස්වාමීනි, නුඹවහන්සේට වැඩෙක් වේ නම් කැමැත්තක්හට මා දන් දී වදාළ මැනවැ’යි කියා එම ශක්‍රයා ලවා සාධුකාර දෙවාපු එ කල ඒ මද්‍රිදේවි නමුදු දැන් මේ යශෝධරා දේවි ම ය.

මේ මේ කාරණයෙන් මාගේ ස්වාමිදරුවන් වහන්සේ කෙරෙහි ගුණ දන්නවුන් කෙරෙහි අග්‍ර වූ හෙයින් මේ මේ පූර්ව චරිතයන් අපරීක්‍ෂාකොට ඒ යශෝධරා දේවීන් ශ්‍රීපාදයෙහි අතගා වලප්නා වේලෙහි හුදු කරුණාවෙන් හඹාලූවා සේ, හුදු මුදිතාවෙන් හඹාලූවා සේ, හුදු උපේක්‍ෂාවෙන් හමාලූ වාසේ, සිත නොකළඹා නිශ්චලව වැඩහිඳ ‘ස්වාමීනි! ම යේළි නුඹවහන්සේට පක්‍ෂපාත ය. ඈට ක්‍ෂමා කොට වදාළ මැනවැ’යි පිය මහ රජ්ජුරුවන් දැන්වූ වේලෙහි ස්වාමිදරුවෝ බැණ නැගි බසින් නිකුත් දසනග රසින් සියලු ගර්භාන්තරය ඒකාලෝක කෙරෙමින්, ශ්‍රී මුඛයෙන් නිකුත් සුවඳින් සියලු ගර්භාන්තරය එක සුවඳපිඩක් සේ කෙරෙමින්, බණ වදාරණ සේක් “මහරජ! මා බුදුවන ජාතියෙහි මැය රහත්වන ජාතියෙහි තොප වැනි මයිල් රජක්හු විසින් කරන ලද ආරක්‍ෂා ඇති ව මෑ මට පක්‍ෂපාතව ම විසූයේ ආශ්චර්‍ය්‍ය නො වෙයි. පෙර නුමුහු කළා වූ නුවණ ඇති සමයෙහි මා සඳකිඳුරු කල බරණැස් රජහු මෑ කෙරෙහි කළ ලෝභයෙන් මා විදහෙළා පියා ‘සොළොස් දහසක් පුර ස්ත්‍රීන්ට නායක කොට තිම අගමෙහෙසින් කෙරෙමි යි මා හා සමග වරැ’යි රජ කැඳවූ වේලෙහි එ බසට කන් නො දී මා කෙරෙහි ප්‍රේමයෙන් මාගේ ජීවිතය රක්‍ෂා කළ වා දැ”යි යනාදීන් යශෝධරා දේවීන්ගේ බොහෝ ගුණයෙන් මෙම චන්‍දකින්නර ජාතකයෙන් බණ වදාළ සේක.

එ වේලෙහි යශෝධරා දේවීන්ගේ ශෝක සුළං දුටු වලාකඩක් සේ දුරු වී ය. පස්වනක් ප්‍රීතින් පිනා ගියහ. බුදුන්ට අනාදර වී දෝ හෝ යි රජ්ජුරුවන්ට උපන්නා වූ භය ද සන්හුන.

නන්‍ද කුමරුගේ පැවිද්ද

ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ බුද්ධාසනයෙන් පැන නැගී ඒ යශෝධරා දේවීන්ගේ ගෙයි සිට නිග්‍රොධාරාමයට වැඩ එදා රාත්‍රි භාගයෙහි දවස් යවා දෙවන දා උදාසන තමන් වහන්සේ වැඩු කුඩාමවු වූ මහාප්‍රජාපතී දේවීන් විසින් වදන ලද ශුද්ධෝදන රජ්ජුරුවන්ට ම දා නන්‍ද නම කුමාරයන්ගේ සිරිබඳනා මගුල, ගෙවදනා මගුල, ජනපද කල්‍යාණි නම් රාජකුමාරිකාව ශරණ රක්‍ෂා කරන මගුලය යන මෙතුන් මඟුල ම එම දා පැමිණියේ ය. එ කල බුදුරජාණන් වහන්සේ එ පවත් දැන ‘මාගේ මල් නන්‍ද කුමරුවා කාමබන්‍ධනයෙහි බැඳී ගියේ නම් සසරින් මුදාගත නො හැක්ක. දැන් ම ගොස් ඔහු මහණ කරවමි යි සිතාලා විසිදහසක් රහතන් ගෙන දෙවනදා උදාසන ම මහත් වූ බුද්ධශ්‍රීන් ඒ නන්‍ද කුමාරයන්ගේ මඟුල් මාලිගාවට වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ:

තපො ච බ්‍රහ්මචරියං ච - අරියසච්චාන දස්සනං,

නිබ්බාණ සච්ඡි කිරියා ච - එතං මඞ්ගල මුත්තමං.

යනාදීන් මඟුල්බණ වදාරා මලනුවන් පැවිදි කරනු කැමැතිව පාත්‍රාධාතුව නන්‍ද කුමාරයන් කරා දිගු කොට වදාළ සේක.

එ කෙණෙහි නන්‍ද කුමාරයෝ සර්වාභරණයෙන් මඞ්ගල විධානයෙන් සැරහී සිටියාහු ම බුදුන් දිගුකළ පාත්‍රය ආදරයෙන් දෙඅත්ලෙහි තබාගත්තාහු ය. එ කෙණෙහි බුදුහු බුද්ධාසනයෙන් පැන නැගී වෙහෙර බලා නික්මුණු සේක. නන්‍ද කුමාරයෝ හිණිමුල දී දොරකඩ දී, පාත්‍රය හැරපන්නා සේක් දෝ හෝ යි සිත සිතා බුදුන් පසු පස්සෙහි නික්මුණාහුය. බුදුහු පස නො බලා වඩනා සේක් ම ය.

එ වේලෙහි ජනපදකල්‍යාණි නන්‍ද කුමාරයන් යන්නා දැක, තමා වසන පායෙහි මතුමාල්තෙලෙහි සිවුමැදිරියෙහි දොර හැර, තමාගේ සඳමඬලක් වන් මුවමඬල දක්වාලා වලාගබෙකින් නිකුත් විදුලියක් සේ ලීලෝපෙත වූ මොළොක‘ත දිගුකොට ලා දිගු පුළුල් වූ ඇසින් නන්‍ද කුමරුන් මුහුණ බලා “හිමියඃ පුත, ඔබ නො රඳා වහා දිව එව”යි කීව. එ තෙපුල් අසා නන්‍ද කුමාරයන් ලය කම්පිත වී ය. එසේ ද වුවත් පාත්‍ර ය ගෙන වාසල දී ඇරගන්නා සේක් දෝ හෝ යි සිතා ගොස් පසු නො බලා ම වඩනා හෙයින් බුදුන් කෙරෙහි ආදරයෙන් පාත්‍රය ගත මැනවැ යි කිය නො හී නොසිතින් ම වෙහෙරට ගියහ.

ඉක්බිත්තෙන් බුදුහු නන්‍ද කුමාරයන් ළඟට කැඳවා “නන්‍ද ය, චක්‍රවර්ති රාජ්‍යය හැර මා වැනියන් මහණ වූ කල තාවැනියන්ට ගිහිගෙය ඇයි ද? දැන් ම මහණව”යි වදාළ සේක. නන්‍දකුමාරයෝ බුදුන් වදාළ බසට අනෙකක් කිය නො හී ජනපදකල්‍යාණීන් සිත සිතා නුවන් කෙළවරින් බැලූ බැලුම් සිත සිතා කරබා සිටියහ. බුදුහු “නන්‍දයා මුවෙන් නොබැණ ඉවසූය”යි සැරියුත් - මුගලන් දෙදෙනා වහන්සේට වදාරා එම විට ම ඔහු ඉසකේ කපා මහණ කළසේක. නන්‍ද කුමාරයෝ මහණ වූ දා පටන් ජනපද කල්‍යණීන්ගේ රුව සිත සිතා, ඇය දිගුකළ අත සිත සිතා, නුවන් කෙළවරින් බැලු බැලුම් සිත සිතා, එදා කී බස් සිත සිතා, කඳුළු ගෙන ගෙන මහණදම් නැති ව ජනපදකල්‍යාණීන් කෙරෙහි ම ශෝක කෙරෙති. වහරති. භික්‍ෂූන් වහන්සේ ඒ කාරණය දැක “ඇවැත්නි! තෙපි බුදුන්ගේ මලනුවහ. රජකුලයෙන් පැවිදි වුවහ. ඉතා තෙපි සුඛිතයහ. තොපට දුක් කිම් ද? දවසින් දවස දුර්වල වනැ”යි විචාරණ සේක. නන්‍ද සාමණේරයෝ සබ්‍රම්සරුන්ගේ බස් අසා ස්වාමීනි, මටකිසිදෙයකින් දුක් නැත. ජනපද කල්‍යාණියට ඉතා මා බඩ කකිය යි. එසේ හෙයින් දුර්වල වෙමි”යි කීහ. භික්‍ෂූන් වහන්සේ එ තෙපුල් අසා බුදුන් කරා ගොස් දැන්වූ සේක. බුදුහු නන්‍ද සාමණේරයන් කැඳවා “සැබෑ ද නන්‍ද ය, තෝ මා වැනි බුදුකෙනකුන් කෙරේ මහණව ස්ත්‍රියක කෙරේ කළ ලෝභයෙන් ශෝක කෙරෙහි දැ”යි විචාළ සේක.

නන්‍ද සාමණේරයන් වහන්සේ “එසේ ය! ස්වාමීනි, ජනපද කල්‍යාණි එ දවස් මා පාත්‍රය අතින් ගෙන නුඹවහන්සේ පස්සෙහි එන වේලේ “හිමියා පුත, නො ලස්සා වරැ යි පුන් කලස් කරක් වන් තමාගේ කර දිගුකොට බැලුව. ඇය සිතු සිතු කල ඉතා ම මට ශෝක මහත් ය”යි වදාළ සේක. බුදුහු නන්‍දය තාගේ ජනපදකල්‍යාණියගේ රුව යහපත් ම දැ යි වදාළ සේක. නන්‍ද සාමණේරයන් වහන්සේ ජනපදකල්‍යාණියන්ගේ රුව බුදුන් ඉදිරියෙහි සිට වර්ණනා කළ සේක.

එ කල නන්‍ද සාමණේරයන් වහන්සේට උපන්නා වූ කාම නමැති පරිඩාහ නිවන් නමැති අමාගඟින් නිවමි යි සිතා වදාරා නිදන් බලා බෙහෙත් කොට ව්‍යාධී සන්සිඳුවන වෛද්‍යාචාර්‍ය්‍යයකු සේ මාගේ මලනුවනුගේ ස්ත්‍රීශෝක නමැති සලල ය කෙසේ හැර පියම් දේ හෝ යි සිතා වදාරා උපදෙසක් දැක “නන්‍දය ජනපදය කල්‍යාණියට වඩනා ස්ත්‍රීහු නැත් ම දැ?යි වදාළ සේක. සාමණේරයන් වහන්සේ ‘එසේ ය, ස්වාමීනි! උන්ට වඩනා කෙනෙක් මුළු දඹදිව නැතැ”යි කීහ. බුදුහු ‘ඈට වඩනා ස්ත්‍රීන් දක්නා කැමැත්තෙහි දැ?යි වදාළ සේක. උන්ට වඩනෝ තව ත් ඇද්දැ යි නො ගිවිස උන්ගේ රූප වර්ණනා කරන සේක්: නන් විසිතුරු මලින් සැරසුනා වූ නිල් වරලසින් හා; කන් නමැති මධුගුහාවට ගමන් ගත් නීලභෘඞ්ග යුග්මයක් සේ ඉඳුමිණි නිල්වන් දිගුපුලුල් වූ ඇසින් හා, ගන නිල් වරල් නමැති මහ මේ කුළින් පැන නැඟී දෙව්දුනුවන් දිලියෙන බැම සඟළෙකින් හා, දුටු දුටුවන් දෙපා මැසී යන තරම් රන්හැකිළි සේ සක් පතින් දිලියෙන කන්වැල් සඟළෙකින් හා, කෙම්පල වන් තඹුරු තොල් සඟළෙකින් හා, කොඳ කැකුළු වන් දත්පෙළින් දිවන සුදු රසින් සඳ රස් පරදවමින් සිටි හා, මුව පියුම් බල බලා කර ඔසවා සිටිනා වූ රන්වන් හංස පැටවුන් දෙදෙනකු සේ ලීලොපෙත ව සිටිනා පිරුණු තන සඟළෙකින් හා, නැබ පියුමට මුවරඳ ලොලින් බස්නා භෘඞ්ගාවලියක් සේ දුටු දුටුවන් සිත් උමතු කරවන නිල් වසාරොදකින් හා, රන්තිඹිලි කඳක් වන් අසුරෙන් ගන්නා සිඟු වළඟෙකින් හා, කාමී පුරුෂයන් මනදොළ විශාරද කරවන්නා වූ රන්වන් පුළුලුකුලකින් හා, පුරුෂයන්ගේ ධෛර්‍ය්‍යය මඬනා තිරිහිකඳ සේ රන් කෙහෙල් කඳට නිගාදුන් මට සිලුටු වූ කළවා යුවලකින් හා, යුක්ත වූ මේ බඳු ස්ත්‍රියක් මේ මුළු දඹදිව මා දන්නේ නැතැ යි කී සේක. බුදුහු ‘ඇත නන්‍ද ය’යි වදාළ සේක. එසේ වී නම් මට උන් පෑව මැනවැ යි කීහ.

එ කෙණෙහි ස්වාමිදරුවෝ ලද බොළඳ වූ ඒ නන්‍ද සාමණේරයන් වහන්සේ සෘද්ධියෙන් අත අල්වාගෙන ශක්‍ර පුරයට වඩනා සේක් මහා වනමධ්‍යයෙක නව දැලි සේනක් මවාලා ගින්නෙන් දෑ කණුවෙක දා මියගිය කන් නාසා නගුටු නැති වැඳිරි මැහැල්ලක දත් නියාගෙන ඉතා විරූපී ව උන්නා සේ දක්වාලා ‘නන්‍ද ය, තෙල දා මියගිය වැඳිරි මැහැල්ල දිටි දැ’යි වදාළ සේක. ‘දිටිමි, ස්වාමීනි’යි කියා කම්පා වූ සේක.

ඉක්බිත්තෙන් බුදුහු ශක්‍රයාගේ නන්‍දෙනාද්‍යානයට වැඩ ඔහුගේ දිව්‍යස්ත්‍රීහු මේ තෙනට රැස්වෙත්ව යි සිතා වදාළ සේක. එ කෙණෙහි ශක්‍රයාගේ අග මෙහෙසියන් වූ කකුටපාදිනී නම් දිව්‍යාඞ්ගනාවෝ පන් සියයෙක් අවුත් බුදුන් පිරිවරා වැඳ එකත්පස් ව සිටියාහු ය. බුදුහු ඔවුන්ට බණ වදාරා නන්‍ද සාමණේරයන් වහන්සේට දිව්‍යස්ත්‍රීන් පෑලා ශක්‍රපුරයෙන් වැඩ ‘නන්‍ද ය, මේ දිව්‍යාඞ්ගනාවෝ වඩිද්ද, ජනපදකල්‍යාණි වඩීදැ’යි වදාළ සේක. සාමණේරයන් වහන්සේ “ස්වාමීනි, දිව්‍යාඞ්ගනාවන් දුටු ඇසට ජනපදකල්‍යාණීන්ගේ රුව අර සේනේ දා මිය හොත් වැඳිරි මැහැල්ල සේ ම සිතෙයි” කීහ. බුදුහු ‘නන්‍දය! එසේ වූ දිව්‍යාඞ්ගනාවන් ලදොත් කැමැතියෙහි දැ’යි වදාළ සේක. සාමණේරයන් වහන්සේ වදාරණසේක් ‘ස්වාමීනි, එ වැනි දිව්‍යාඞ්ගනාවන් කෙසේ ලැබෙම්දැ’යි කී සේක. බුදුහු ‘දෙවඟනන් ලබන උපදෙස් මම දනිමි’යි වදාළ සේක. සාමණේරයන් වහන්සේ ‘ඒ උපදෙස් මා උගන්වා වදාළ මැනවැ’යි කී සේක. බුදුහු ‘නන්‍දය, දිව්‍යාඞ්ගනාවන් කැමැතියෙහි නම් මාගේ සස්නෙහි නිර්මල කොට සිල් රක්‍ෂා රක්‍ෂා කළවුන්ට දිව්‍යාඞ්ගනාවෝ ලැබෙති. සිල් රක්‍ෂාකරනුවන් කරා දිව්‍යාඞ්ගනාවෝ තුමූ ත් එති. ඒ දෙවඟනන් මා කරා අවුදින් පිරිවරා සිටි ලෙස් නො ම දුටුයෙහි වේ දැ’යි වදාරා කර්මස්ථාන උගන්වා වදාළ සේක. නන්‍ද සාමණේරයන් වහන්සේ දිව්‍යාඞ්ගනාවන් ලබමි යි යන ලෝභයෙන් නිර්මල වූ ශීලය රක්‍ෂා කොට නොබෝ කලෙකින් විදර්ශනා වඩා රහත් ව නන්‍ද නම් මහ තෙර ව බුදුසසුන් නමැති ආකාශයෙහි හිර සඳ සේ ප්‍රසිද්ධ වූ සේක.

මෙසේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි තුන් වන දා නන්‍ද මහතෙරුන් මහණ කරවා, සත්වන දා විසිදහසක් රහතන් පිරිවරා සවණක් රසින් දිලිහි දිලිහී පියරජුගේ ගෙට වළඳන්ට වඩනා සේක.

එ කල යශෝධරා දේවී තම පුතණුවන් සත්හැවිරිදි රාහුල කුමාරයන් කැඳවා ඇක ය පිට හිඳුවාගෙන සිඹ සනහා “පුතණ්ඩ! රාහුලයෙනි! තොපගේ පියාණන් වහන්සේගේ සතර මහා නිධානයෙක් ඇත. ඒ නිධාන සතර: ගවු, දෙගවු, තුන්ගවු, සතරගවු පමණ වටින් ඇති යේ ය. ගැඹුර මෙතෙකැ යි පමණ දන්නෝ නැත. උන් වහන්සේ මහණ වූ තැන් පටන් ඒ සතර මහා නිධානය කොතැනෙක බවත් දන්නෝ නැත; තව ද ඔබගේ චක්‍රවර්ති රාජ්‍යය හා සත්රුවනෙකුත් ඇත, පියන්ගේ සැපත් දරුවන්ට හිමි වේදැ’යි කියාලා තොප පියාණන් වහන්සේ කරා ගොස් ඒ සතර මහානිධානය හා සත්රුවන් සක්විතිරජය ඉල්වා ගනුව”යි කීහ. රාහුල කුමාරයෝ මුතුන් රජ්ජුරුවන් අඳුනන බව මුත් පියන් කවුරුන් බවත් නො දනිති. එසේ හෙයින් ‘අම්ම ම පියාණෝ නම් කවුරුදැ’යි කීහ. යශෝධරා දේවි පුතණුවන් වඩාගෙන සිවුමැදිරියෙහි දොරහැර රාජවීථියෙහි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් හා අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් දිලිිහි දිලිහි කසුන් කඳක් සේ සවණක් රස්විහිද විහිදා වඩනා බුදුන් පුතණුවන්ට අත දිගුකොට පෑලා:

“චක්ක වරඞ්කිත රත්ත සුපාදො

ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හි,

චාමර ඡත්ත විභූසිත පාදො

එස හි තුය්හ පිතා නරසීහො.

.

සක්‍ය කුමාර වරො සුඛුමාලො

ලක්ඛණ චිත්තිත පුණ්ණ සරීරො,

ලොකහිතාය ගතො නරවීරො

එස හි තුය්හ පිතා නරසීහො.

.

පුණ්ණ සසඞ්ක නිභො මුඛවණ්ණො

දෙව නරාන පියො නර නාගො,

මත්ත ගජින්‍ද විලාසිත ගාමී

එස හි තුය්හ පිතා නරසීහො.

.

ඛත්තිය සම්භව අග්ග කුලීනො

දෙව මනුස්ස නමස්සීත පාදො,

සීල සමාධි පතිට්ඨිත චිත්තො

එස හි තුය්හ පිතා නරසීහො.

.

ආයත යුත්ත සුසණ්ඨිත නාසො

ගොපමුඛො අභීනීල සුනෙත්තො,

ඉන්‍දධනූ අභීනීල භමූකො

එස හි තුය්හ පිතා නරසීහො.

.

වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවො

සීහ හනු මිගරාජ සරීරො,

කඤ්චක සුච්ඡවි උත්තම වණ්ණො

එස හි තුය්හ පිතා නරසීහො.

.

ස්නිද්ධ සුගම්භිර මඤ්ජු සුඝොසො

හිඞ්ගුල බද්ධ සුරත්ත සුජිව්හො,

වීසති වීසති සෙත සුදන්තො

එස හි තුය්හ පිතා නරසීහො.

.

අඤ්ජන වණ්ණ සුනීල සුකෙසො

කඤ්චන පට්ට විසුද්ධ ලලාටො,

ඔසධි පණ්ඩර සුද්ධ සුඋණ්ණො

එස හි තුය්හ පිතා නරසීහො.

.

ගච්ඡති නීලපථෙවිය චන්‍දො

තාරගණා පරිවෙඨිත රූපො,

සාවක මජ්ඣ ගතො සමණින්‍දො

එස හි තුය්හ පිතා නරසීහො

යන මේ පෙර තමන් බුදුන්ගේ වියෝග කාලයෙහි බැඳගෙන එකාවනු ව ගායනා කොට කොට හිඳිනා වූ නරසීහ ගාථා පුතණුවන්ට උගන්වාලා “පුතණ්ඩ තොප පියාණන් වහන්සේ නම් එසේ මෙසේ වූ ස්වල්ප කෙනකුන් වහන්සේ නො වෙති. දෙපතුල් පුරා සිටි දෙසිය සොළොසක් මඟුල් ලකුණෙන් හා, රන්තෙලි තුඩු බඳු ව සිනිඳු වූ ඇඟිලි පෙළින් හා, ක්‍රෙමාන්නත ව රන්වන් වූ ජංඝායුග්මයෙකින් හා, රන්කඳක් බඳු වූ බුදුබඳෙකින් හා, කල්පදාම ශාඛා යුග්මයක් බඳු වූ ශ්‍රී හස්ත යුග්මයකින් හා, පුන්සඳක් බඳු වූ ශ්‍රි මුඛයෙකින් හා, විදුලිය දෙකක් බඳු වූ කන්වැල් සඟළෙකින් හා කනකාඞ්කුශයක් බඳු වූ උත්තුඞ්ගනාසිකාවෙකින් හා පස්වණක් පෑයෙන් දිලියෙන ඉඳුමිණි නිල්වන් ඇස්සඟළෙකින් හා, දෙවුදුනු දෙකක් බඳු වූ ශ්‍රීමන්ත වූ බැමසඟළෙකින් හා, රන්මිහිගත් බඳු වූ ග්‍රීවාවෘත්තයෙකින් හා රන්කුළු දෙකක් බඳු වූ උරසඟළෙකින් හා සිංහ හනු බඳු වූ හනු භාග දෙකෙකින් හා රන්පියුම් පෙත්තතක් බඳු වූ සුරකත වූ නාස දෙසිදුර ලලාට දෙකන්සිලු පිරිමදනා තරම් දිගුපුළුල් තුනු වූ ජිව්හායෙකින් හා, නකත් තරු පෙළක් සේ දිලියෙන සම සතළිස් දන්තපඞ්ක්තින් හා මිණිවඩම් දෙකක් සේ සුරකත් වූ අධරයුග්මයෙකින් සා, සඳවලා ගබින් නිකුත් සඳරැස් පරදවමින් ශ්‍රී මුඛයෙන් නිකුත් සුදු බුදුරස් කලඹෙකින් හා, ජාමබෝනද කනක පට්ටයක් බඳු වූ නළල් තලයෙකින් හා, රන්ගිරි මුදුනෙහි දිලියෙන පුන්සඳක් බඳු වූ ඌර්ණනාරෝමයකින් හා, නිල් වලාකුළක් බඳු වූ ඉඳුමිණි නිල්වන් සිරසෙකින් හා මඩුරියන් උස ඉස්මුදුනෙන් පැනනැඟී දිලියෙන කේතුමාලා නම් රශ්මිකදම්බයෙකින් හා, හිරුරැස් කළඹක් වන් සියලඟින් නිකුත් සවණක් රසින් හා,

උතුම් වූ හස්තිරාජයක්හුගේ ලීලා පරයන මනෝහාර වූ ගමනින් හා; හුදු කරුණාවෙන් මවා ලූ රුවක් සේ, හුදු මුදිතාවෙන් මවා ලූ රුවක් සේ, හුදු උපේක්‍ෂාවෙන් මවා ලූ රුවක් සේ, හුදුදානයෙන් මවා ලූ රුවක් සේ, හුදු ශීලයෙන් මවා ලූ රුවක් සේ, හුදු ප්‍රඥාවෙන් මවාලූ රුවක් සේ, හුදු වීර්‍ය්‍යයෙන් මවා ලූ රුවක් සේ, හුදු පෙළහරයෙන් මවා ලූ රුවක් සේ, පෙර තමන් පහස් ලත් අප වැනි කම්කිළියන්ගේ වියෝග දුඃඛ නමැති ලැව්ගින්න දල්වන්නා සේ, බඳු වදමල් රැසෙකින් වැසූ චිත්‍රකූටපර්වත රාජයා සේ, සුරක්ත වූ පාංශුකූල චීවර සඟළෙකින් තමන් වහන්සේගේ රන්වන් වූ ශ්‍රි ශරීරය වසාගෙන හිරු පැරයූ තේජසින් හා, සඳහු මන් බුන් සොමි ගුණෙන් සා, බැලු බැලුවන් ඇස් නිවමින්, කන් නිවමින්, සිත් නිවමින්, පිදු පිදූවන්ට දෙවි බඹ සැපත් දෙව මින්, තුඩ තුඩ සාධුකාර දෙවමින්, දෙවි බම කැලන්ගේ කිරුළු කුළු මිණිරැස් නමැති අමාදියෙන් තමන් පතුල් පිරිසිදු කෙරෙමින් පුතණ්ඩ! තෙලෙ විසිදහසක් රහතන් පිරිවරා ගෙන මඬුලු සඳක් සේ සිසාරා සිටගත් බ්‍යාමප්‍රභා මණ්ඩලය මැද මහබඹු සේ ගමන් ගත් සේක් තොප පියාණන් වහන්සේය.

ඔබ ඇඳින ගන්ව යි පුතණුවන්ට බුදුන් දක්වාලා බුදුන්ගේ රූපවර්ණනාව තමන් මුව නොපොහොනා සේ කියා පුතණුවන් මත්කොට ලා “පුතණ්ඩ තොපගේ අතුල් පතුල් හා එක්වැනි වූ යම් මහණරූපයක් දුටු නම් ඔබ තොපගේ පියාණන් වහන්සේ ම ය. නො බා ම තොප පියාණන් වහන්සේ ළඟට ගොස් සිවුරු කණ අල්වාගෙන තොපගේ මේ පතුල් සං ඔබගේ ශ්‍රී පාද ළඟ තබාලා එක්වැනි ලෙස් දක්වාලව. තොප විසින් දවස් එලිපතින් පිටත සිට දුරදී ම තොප බලා ගිය බව මුත් තව දක්වා තොප නුදුටුසේක. එසේ හෙයින් තොප තමන් වහන්සේ හා එක්වැනි රූ ඇති බවත් නො දන්නා සේක. එසේ හෙයින් තොප එක්වැනි ලෙසත් දක්වාලා සුරතල් වූ ප්‍රිය තෙපුල් කියා දරු දායද්ද ඉල්වා ගෙන පුතණ්ඩ! සතර මහ දිවයිනට අධිපති ව ඒ චක්‍රවර්ති රාජ්‍යය කරන්නැ”යි පුතණුවන් උගන්වාලා නැවත පුතණුවන් වඩාගෙන ම සත්බුමු මහ පායෙහි යටි මහලට බැස මහ පඩිකඳ පිට සිටුවා මෙසේ පුතණුවන් යවා නැවත තුමූ මතු මහලට නැඟී සිංහපඤ්ජරයෙන් බල බලා නො පැණී සිටියහ.

රහල් කුමරු

එ කල රාහුල කුමාරයෝ සර්වාභරණයෙන් සැරහී කුමාර පිරිස් පිරිවරා බුදුන් පියාණනැ යි අසා සතුටු සතුටුව බුදුන් කරා නො බා ගොස් බුදුන්ගේ සිවුරුකණ අල්වාගෙන බුදුන්ගේ අටතුරාසියක් මඟුල් ලකුණෙන් ශ්‍රීමත් වූ දෙවි බඹුන්ගෙන් පූජා ලබන ශ්‍රීපාදයට නුදුරු තෙන පියාණන් වහන්සේ ය යි යන ප්‍රේමයෙන් භය නැති ව තමන්ගේ රන්පෙති දෙකක් වන් පතුල්සුං දෙක සමකොට තබාගෙන බුදුන්ගේ ශ්‍රී මුඛය බල බලා “මහණ! මට තාගෙන් දායද්ද දේල. මහණ! මට තාගේ සතර මහ නිධානය දේල. මහණ! මට තාගේ සත්රුවන් සක්විති රජය දේල. මම තාගේ දරුවෙම් ල. තෝ මාගේ පියෙහි ල. තෝ මා උපන් දවස් දුර දී දැකලා මා කරා නො වැද සොරා ම ගියෙහි ල. එසේ දැඩි වුවත් මහණ! තාගේ සෙවන ඉතා ම මට සිහිල. තාගේ රූපශ්‍රීය ඉතා ම මට ප්‍රියංකර ය. තාගේ ඇඟින් දිවන රස් මා ඇඟට ඉතා ම සුවපහස් දෙයි. එසේ හෙයින් තෝ මාගේ පියෙහි ම ය යි කිය කියා බුදුන් මුහුණ බල බලා ලඳ බොළඳ තෙපුල් කීහ.

එ කල බුදුහු කුමරුවා ඇඟිල්ල ශ්‍රී හස්තයෙන් අල්ලාගෙන “වරෝ දරුව! දායාද දෙන්නමෝ වේ දැ”යි කිය කියා රජගෙට නික්මුණු සේක. රාහුල කුමාරයෝ සිංහරාජයකු පසුපස්සේ ගමන් ගත් කේශර සිංහරාජ පැටවකු සේ, සඳ පසුපස්සෙහි ගමන් ගත් වෘහස්පති තරුව සේ, නැව් තරුවට අනු වූ අරුන්‍ධතී තරුවක් සේ, සත්රුවන් මහ නැවෙක රන් පමුදමින් බැඳ පසුපස්සේ ගමන් ගත් රුවන් ගල් වත් සුඟක් සේ, බුදුන්ගේ පසුපස්සෙහි රජගෙට ගියාහු ය.

එ දවස් ශාක්‍ය කෝලිය දෙනුවරින් රැස් වූ රජදරුවන්ට හා සියලු සත්ත්‍වයන්ට බුදුන් යමාමහ පෙළහර පානා වේලෙහි උපන් සන්තෝෂ සේ ම ඉතා මහත් වූ සන්තෝෂ උපන. සාධුකාර නුදුන් එක ද සත්ත්‍වකෙනෙක් නැත. සතුටු කඳුළෙන් නුවන් නො තෙමූ එක ද දරු ලත් කෙනෙක් නැත. සියලු සත්ත්‍වයෝ ම මෙවැනි පෙළහරෙක්, මෙවැනි ආශ්චර්‍ය්‍යයෙක්, මෙවැනි වික්‍රමයෙක්, මේ වැනි බුහුටිකමෙක්, මේ වැනි නිර්භීතකමෙක්, මදරුවන්ට ත් වේව යි මදරුවන්ට ත් වේව යි කිය කියා ම සිටියාහු ය.

එ කල බුදුහු රජගෙට වැඩ වදාළ සේක. රාහුල කුමාරයෝ දායාද ඉල්ව ඉල්වා බුදුන් ළඟ සිවුර අල්ව අල්වා සිටිත් ම ය. බුදුහු වළඳා අන්තයෙහි බුද්ධාසනයෙන් පැන නැඟී තරුණ රිවිකිරණයෙන් දිලියෙන කනකගිරි ශිඛරයක් සේ නික්මුණු සේක. රාහුල කුමාරයෝ ද බුදුන්ගේ සිවුරුකණ ගෑවී ගෑවීම දායාද ලෝභයෙන් නික්මුණාහ. බුදුහුත් රාහුලය තෝ සිට යි කියා ත් නො වදාරණ සේක. රාහුල කුමාරයන් රඳවාලන කිසි කෙනකුත් නැත්තා හු ම ය.

එකල යශෝධරා දේවී බුදුන් හා කැටි ව යන පුතණුවන් සිංහ පංජරයෙන් බලා දැක “කිමෙක් දෝ හෝ නන්‍ද කුමරුවාණන් සේ ම ම පුතණු ත් ගෙන ගොස් මහණ කරවා ගන්නා උපායෙක් දෝ, දායාද තබා ම පුතුන් ලදිම් නම් මැනවැ”යි සිත සිතා කඳුළෙන් නුවන් තෙම තෙමා සිටියාහු ය.

බුදුහු රාහුල කුමාරයන් වෙහෙරට ගෙන ගොස් සැරියුත් මහතෙරුන් වහන්සේ කැඳවා “ශාරිපුත්‍රය! මේ රාහුලයා මා අතින් සත්රුවන් දායාද සම්පත් ඉල්වයි. මොහු මට දරු බවත් සැබෑම ය. මා මෝහට පිය බවත් සැබෑ ම ය. එසේ හෙයින් මෝහට නො නස්නා ධනයක් දෙනු කැමැත්තෙමි. දෙන ධනයත් මාගෙන් ම දී ලනු කැමැත්තෙමි. මා බෝමැඩ දී ලද්දා වූ සප්තවිධ වූ ආර්‍ය්‍යධනය මෝහට දුනමැනව යි, එසේ හෙයින් දැන් ම මොහු මහණ කරව යි වදාළ සේක.

ඒ රාහුල කුමාරයන් වහන්සේ පෙර තමන් වහන්සේ කෘතාධිකාර ව ආ හෙයිනුත් බොහෝ කලක් බුදුන්ට දරු ව කීකරුව ආ හෙයිනුත් තුලු මහණකරව යි කී බස් අසා මපියාණන් වහන්සේ අද මට උතුම් ධනයක් දෙනසේක් වනැ යි සිතා හේතුසම්පත් බලයෙන් ම සතුටු සතුටු ව සිටිසේක. ඒ කෙසේ ද? යත්;

පෙර පියුමතුරා නම් බුදුන් සමයෙහි මේ රාහුල ස්වාමි සඞ්ඛ නම් දිව්‍යනාගරාජ ව ඉපද ඒ බුදුන්ගේ උතුරු නම් පුත් මහතෙරුන් වහන්සේගේ බුදුන් හා එක්වැනි වූ රූපලීලා හා මෑණියන්ගේ නියෝගයෙන් දායාද සම්පත් සොයා ගිය දා මහණ ව අමාමහ නිවන් දැක බුදුසසුන් හොබවන්නා දැක ‘මම ද බුදුකෙනකුන්ට දරුව මෙසේ වූ ශ්‍රී විභූතියක් ලදිම් නම් යෙහෙකැ”යි සිතා නේ සුවහස් නා නළුවන් පිරිවරා නාලොවින් මිනිස්ලොවට අවුදින් මහත් වූ දිව්‍ය මණ්ඩපයක් මවා එහි බුදු පාමොක් සඟපිරිස් වඩා හිඳුවා සත්දවසෙක දිව්‍ය ආහාර වළඳවා සත්වන දා “මම ද මේ පිණින් මතු නුඹවහන්සේ සේ ම බුදුකෙනෙකුන්ට දරුව මේ උතුරු නම් මහතෙරුන් සේ ම බුදුසසුන් හොබවම්ව”යි ප්‍රාර්ථනා කළ සේක. බුදුහු “තෝ මතු ගෞතම නම් බුදුන්ට පුත් රාහුල නම් මහාස්ථවිර වන්නෙහි ය යි විවරණ පතුල් දුන් සේක. මේ මුන් වහන්සේගේ හේතුසම්පත් නම්. එ තැන් පටන් මේ කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි පැරුම් පුරා ආ සේක්ම ය.

තව ද: සසර දහස් ගණන් කප්වල බුදුන්ට ම දරු ව අවුදින් තෙසු කල් තබා අප බුදුන් බුදු වූ මේ මහාභද්‍රකල්පයෙහි දද්දර ජාතකයෙහි මාගේ ශාක්‍යසිංහයාණන් වහන්සේ භාස්කර කුලෙහි සිංහරාජ ව ඉපද හිමාලය වනයෙහි රිදී ගුහායෙක රිදීසුන්නෙහි නිත්‍ය වාසය කරන සමයෙහි සිංහ පෝතක ව ඉපද පියාණන් වහන්සේට සුවච වැ වැස පසු ව සිංහ රාජ්‍යය ලදින් සහජාත පුත්‍ර වූ සේකත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: මක්කටක ජාතකයෙහි ශාක්‍යකුල තිලක වූ මෙම බුදුරජාණන් වහන්සේ බමුණු මහසල් කුලෙහි ඉපද කෙළ ගණන් ධන හැර වල්ගොස් මහණ ව ශීලපාරමිතාව පූරණය කළ සමයෙහි තුන් හැවිරිදි බිලිඳි වයස පියාණන් වහන්සේ පසුපස්සේ ගොස් එක දා ම මහණ ව දීර්ඝ කාලයක් බ්‍රහ්මචර්‍ය්‍යාව අකණ්ඩකොට රක්‍ෂා කළ සේකුත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: බන්‍ධනාගාර ජාතකයෙහි ශාක්‍යකුල චින්තාමාණික්‍ය වූ මෙම බුදුරජාණන් වහන්සේ අප්‍රසිද්ධ වූ කුලයෙක ඉපිද මාතුපට්ඨාන ධර්මයන් පූරණය කොට පසුව තපසට යෙමි යි නික්මුණු දා ස්වාමීනි! මා බඩ දරු ගබෙකැ යි ස්ත්‍රිය අවුත් කී වේලෙහි පුත්‍රප්‍රේමයෙන් මපුතණුවන් උපන් කල යෙමි යි සිතා රඳා උපන් පුතණුවන් දැක උපන්නා වූ මහා ප්‍රේමයෙන් මපුතුන් හිරු වන්දවා පී කල තපසට යෙමියි රඳා පසුව මපුතුන් බත් කැවුකල යෙමි යි සිතා රඳා පසුව මපුතුන් කෙස් බෑ කල යෙමි යි රඳා. පසුව මෙසේ පුතණුවන් කෙරෙහි කළ ලෝභයෙන් ප්‍රේම නමැති මලෙහි බැඳී තපසට යා නොහී පසු ව පුතණුවන් කෙස් බෑ කල සොරා තනි කොට ගෙන පුතණුවන් සිඹ සනහා “පුත දැන් මා බැඳුනු මලෙහි තෙපි මතු බැඳී නො යව”යි පැනයක් උගන්වාලා සොරා තපසට පලා ගිය දෑ ය. පියාණන් වහන්සේ තපසට ගියපසු වැඩිවිය පැමිණ පියාණන් වහන්සේ උගන්වාලූ අවවාදය නොවරදවා ම කාමබන්‍ධනයෙහි නො බැඳී වල්ගොස් තපස් කළ සේකුත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: අද්ධිත ජාතකයෙහි ශාක්‍යකුල කල්පද්‍රැම වූ මෙම බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ මහාසාර සැපත් හැර අඹුදරුවන් හඬ හඬා සිටියදී තපසට වලට නික්මුණු දා සත්හැවිරිදි වයස නෑයන් රඳව රඳවා සිටියදීත් පියාණන් වහන්සේ හා සමග පලා ගොස් එක්ව මහණ ව වැසි සුළං සීත පීඩා ඉවසා ඒ ඒ රුක්මුල්වල භාවනාකොට හිඳ අභිඥා ලදින් ධ්‍යාන කෙලි කෙළ එක්ව ම ගොස් බඹලොව උපන් සේකුත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: උරග ජාතකයෙහි ශාක්‍යකුල කේතු වූ මෙම බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචාරීව ඉපද අතිත් ලකුණෙන් ලොව හික්මවා ශක්‍රයාගෙන් ධන පූජා ලත් සමයෙහි එක්සිත් ව දැහැමෙන් වැස පියාණන් වැනි ගුණ රක්‍ෂා කොට ගුණ ඇති ව සර්පයකු විසින් දෂ්ටකරණ ලදු ව මිය පවා පියාණන් වහන්සේට ශෝක දුක් නුදුන් සේකුත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: කුම්භකාර ජාතකයෙහි ශාක්‍යකුල ධජ වූ මෙම බුදුරජාණන් වහන්සේ ජාතිභේද දක්වනු සඳහා කුම්භකාර ජ්‍යෙෂ්ඨ ව ඉපද රජකුලෙන් බුදු වූ පසේබුදුන් සතර දෙනකු වහන්සේ අතින් බණ අසා ගිහිගෙයි උකටලී ව මහණවනු කැමැති ව මෙම පුතණුවන් වහන්සේ ඒ ජාතියෙහි පස් මැසි කල භාර්‍ය්‍යා වූ මෙම යශෝධරා දේවීන් ළඟට කැඳවා ‘සොඳුර ගිහිගෙයි උකටලියෙමි. මහණ වන්නට දැන් ම වලට යෙමි’යි කී යශෝධරාවෝ ‘ස්වාමීනි! තොප පුතණුවන් අප දෙදෙනාගේ බලයෙන් ම වඩාගෙන පසුව අපි තුන්දෙන ම එක් ව ගොස් තපස් කරම්හ’යි කියා යාච්ඤා කොට බෝසතුන් දැන් ම යෙමි යි කියා නො ගිවිස්නා හෙයින් ‘එ බැවින් ස්වාමීනි තොපගේ බිළිඳි පුතණුවන් මඳ ඇසිල්ලක් වඩා හිඳුවා, මා පැන් කළයක් ගෙනා කල ගිය මැනවැ’යි මායම කියා බෝසතුන් අතට පුතණුවන් වඩාලා තුමූ කළයක් අතට ගෙන දොර මිදුලට බැසලා නැවත ආපස්ස බලා ‘ස්වාමීනි! මා ආ විටෙක මුත් නුඹ පුතණුවන් හැර පලා නො යන්නැ’යි තරකොට ම කියාලා, තුමූ පලාගොස් “අප දෙදෙනා සමයේ බැඳී ගිය මේ දරුමල එකලා මා කරට නගාලා මේ පුරුෂයා තෙමේ ගැලවී තපසට යනු කැමැති වන. සසර දුක් නම් ස්ත්‍රීන්ටත් දැඩි ම ය. පුරුෂයන්ටත් දැඩි ම ය. නිවන් නම් ස්ත්‍රීන්ට ත් මිහිර. පුරුෂයන්ටත් මිහිර.

තව ද: පින්කළ පුරුෂයෝ ශක්‍ර වෙත් ම ය. මාර වෙත් ම ය. චක්‍රවර්ති වෙත් ම ය. පසේබුදු වෙත් ම ය. ලොවුතුරා බුදු වෙත් ම ය. ස්ත්‍රීන් කෙතෙක් පින් කළ ත් ඒ සම්පත් නොලැබෙත්ම ය. එසේ හෙයින් ස්ත්‍රීන්ට ලැබෙන්නේ එක නිවන් සම්පත් ම ය. මේ මේ කාරණයෙන් සසර ගැලවීම ස්ත්‍රීන්ට දුර්ලභ ම ය. පුරුෂයන්ට සසර ගැලවීම ආශ්චර්‍ය්‍ය නො වේ ම ය. එසේ හෙයින් මොහු මා කරට දමමි යි සිතූ මල මම මොහු කරට දමාලා තපසට යෙමි”යි කළය බැද්දෙක ලා පියා පරිබ්‍රාජිකා වෙහෙරට ගොස් පැවිදිව සිල් රක්‍ෂා කළාහු ය.

බෝධිසත්ත්‍වයෝ මඟ බල බලා හිඳ භාර්‍ය්‍යාවන් නො එන හෙයින් තපසට ගියහ යි දැන ‘මා වැනි වීර පුරුෂයකු ස්ත්‍රියකට බැඳී ගිය සේ ඉතා නො යෙදෙයි’ කිය කියා පුතණුවන් කෙරෙහි කළ ප්‍රේමයෙන් දමින් මසාලූ ඇතකු සේ පය ඔසවා පලා යා නො හී ස්වහස්තයෙන් පෑර පිස දර පැන් ඇද පුතණුවන් මහත් වූ ප්‍රේම ඇති ව වඩා පුතණුවන් ලුණු ඇඹුල් රස දැනගත් අවස්ථාවෙහි “ම පිත් නුවණැත්තේ ය. මා නැතිව ත් රක්‍ෂා විය හෙයි” දැන පුතණුවන් සිඹ සනහා කුල නෑයන් කැඳවා පාවා දී තමන් වහන්සේ වලට ගොස් පැවිදි වී ධ්‍යාන උපදවා බඹලෝ ගොස් උපන් සේක. මෙසේ මහණ සුවයත් හැරපියා ගිහිගෙයි වැස මේ සා මහත් දුක් ගෙන ප්‍රේම කොට වැඩුයේ ත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: මඛාදේව ජාතකයෙහි ශාක්‍යකුල රත්නාකර වූ මෙම බුදුරජාණන් වහන්සේ මඛාදේව නම් රජ ව බොහෝ දවසක් රාජ්‍යය කොට පළමුවන නරකෙස දැක රාජ්‍යය හැර ගොස් මහණ ව ධ්‍යාන සුවයෙන් දවස් යවු සමයෙහි මඛාදේව නම් පුත්‍ර ව එම රාජ්‍යය පරිපාලනය කොට සුවාසූදහසක් හවුරුදු මුළුල්ලෙහි රාජ්‍යය කොට එදෑතුරෙහි පියාණන් වහන්සේට සිවු පසයෙන් උපස්ථාන කළා වූ ඒ මඛාදේව නම් පුතණුවන් වහන්සේ ද මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: මහා සුදස්සන ජාතකයෙහි ශාක්‍යකුල චක්‍රවර්ති වූ මෙම බුදුරජාණන් වහන්සේ සප්තරත්නාධිපති වූ මහාසුදර්ශන නම් චක්‍රවර්ති රජ ව සතර මහ දිවයිනින් හා දෙදහසක් කොදිව්වලින් පිරුණා වූ මේ සක්වළ ගබ මුළුල්ලෙහි එකාතපත්‍රෙයන් රාජ්‍යය කොට චන්‍ද්‍ර-සූර්‍ය්‍ය දිව්‍යපුත්‍රයන් සේ සියලු සතුන්ට ම පෙනි පෙනී සියලු සතුන් පඤ්චශීලය රක්‍ෂා කරවා ඉදින් ඒ පඤ්චශීලය තමා රහසත් බිඳපු සත්ත්‍වයෙක් ඇත්නම් ඔහුගේ ඉස සත් කඩක්ව පැළී යන තරම් උග්‍ර වූ ආඥා තේජස් ඇති ව දශවිධ වූ චක්‍රවර්ති ධර්මයන් පුරා රාජ්‍යය කළ සමයෙහි අවටින් පන්සියයක් යොදනෙහි හිවි ගැවසී සිටිනා ඒ සා චක්‍රවර්ති සේනාවෙහි මේ සත්ත්‍ව යා සුදු පිළී කැමැත්තේ ය. මේ සත්ත්‍වයා රත් පිළී කැමැත්තේ ය. මේ නිල් පිළී කැමැත්තේ ය. මේ රන්වන් පිළී කැමැත්තේ ය. මේ මෙසේ මෙසේ වූ ආභරණ කැමැත්තේ ය. මේ මෙසේ වූ මල්පළඳනා කැමැත්තේ ය. මේ මෙසේ වූ සුවඳ විලවුන් කැමැත්තේ ය. මේ මෙසේ වූ ඛාද්‍ය භෝජ්‍ය කැමැත්තේ ය. යනාදි වසයෙන් සියලු සතුන් කැමැති කැමැති දෙයින් සියලු සත්ත්‍වයන් සන්තෝෂ කළා වූ පරිණායක රත්න ව දහසක් පුතුන් ව ජ්‍යෙෂ්ඨ වූ ඒ පුතණුවන් වහන්සේ ද මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: කෙළවර වෙස්සන්තර ජාතකයෙහි ජූජක නම් බමුණා වංකගිරි පර්වතයට ගොස් ‘ස්වාමීනි! තොප පුතු මට ගැතිකොට දන් දෙව’යි කී බස් අසා බා දිව ගොස් සිවුරැස් පොකුණෙහි සැඟවී සිටිකල “පුත! ජාලිය කුමාරයෙනි” යි පියාණන් වහන්සේ එකවිට ම බැණ නැගී බස අසා “බමුණා මා ගැති කෙරේව යි මම ද බමුණාට ගැතිවෙම්ව යි මා වැනි දරුවෝත් මපියාණන් වහන්සේ දෙවිටක් අඬගාවද්දැ”යි නෙලුම්පත් ඉසින් පිහිරා දිවගොස් අවුදින් “ස්වාමීනි! මා කැමැත්තතක් කළ මැනව”යි පියාණන් වහන්සේට දකුණත පෑලු කීකරු වූ ජාලිය කුමාරයෝ නමුදු මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

මෙසේ පෙර බුදුන් කෙරෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති හෙයිනුත් ජාති කෝටියෙහි දරුව ම ආ හෙයිනුත් ඔවුනොවුන්ට උපකාර ව ආ හෙයිනුත් සසරත් බුදුන්ට කීකරුව ම ආ හෙයිනුත් “රාහුලයා ඉසකේ කපා මහණකරව”යි වදාළ වේලෙහි උත්තරයක් නො කියා “මපියාණන් වහන්සේ උතුම් වූ දායාදයක් අද මට දෙන සේක් වනැ”යි සිත සිතා සතුටු සතුටු ව සිටි සේක.

එ වේලෙහි දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ රාහුල කුමාරයන් ඉසකේ කපා මහණ කරවා වදාළ සේක.

ඔහුගේ පැවිදිවීම ගැන ශෝකයට පත් සුදොවුන් රජුට දහම් දෙසීම

ශුද්ධෝදන රජ්ජුරුවෝ මුනුබුරාණන් මහණ කළහ යි අසා මහත් වූ ශෝක ඇතිවූවාහු ය. කාරණ කිම ය? යත්;

රාහුල කුමාරයන් උපන්දා ම පුතණුවන් වහන්සේ මහභිනික්මන් කොට නො කියා ම පලා ගිය හෙයින් පුතණුවන් වහන්සේ කෙරේ උපන් මහ ශෝක ඇති වත් මුනුබුරාණන්ගේ අතුල් පතුල් කන් නාසා පුතණුවන් වහන්සේ හා එක්වැනිය යි කිය කියා මුනුබුරාණන් සන සනා උන්ගේ සුරතල් බල බලා පුතණුවන් වහන්සේ කෙරෙහි උපදනා ශෝක තුනි තුනී කොට විසූහ. එසේ හෙයින් එදා රජ්ජුරුවන්ට මහමෙර සේ ශෝක විය. රජ ශෝක රඳවාගත නො හෙනුයේ කිපී බුදුන් කරා දිවගොස් මහ හඬින් හඬ හඬා “සර්වඥයන් වහන්ස! නුඹවහන්සේගේ සසනය අවිචාරවත් සස්නෙක් ද, මවුපියන් කෙරෙහි සරු නො කරන ශාසනයෙක් ද නුඹවහන්සේත් මට නො කියා ම සොරා ම ගොස් මහණවූ සේක. මාගේ කුඩා පුතණුවන් නන්‍ද කුමාරයනුත් උදුරාගෙන මහණ කොට ගත් සේක. මා ම වඩා ගත් මාගේ මුනුබුරාණන් රාහුල කුමාරයන් මට නො කියා ම මහණකළ සේ නො යෙදෙයි” යනාදීන් බුදුන්ට මැසිවිලි කීහ.

එ කල බුදුහු ගිනිමැලයෙක ඇල් පැන් සලන්නා සේ පියරජ හට බණ වදාරා සෝක සන්හිඳුවා වදාළ සේක. රජ්ජුරුවෝ බණ අසා ශෝක සන්හුන් කල “ම පුතණුවන් වහන්ස, අද මට උපන්නාවූ දරු ශෝක ය දරුවන් වැදූ සියලු දෙමවුපියන්ට නො වනු කැමැත්තෙමි. මට ම අනුග්‍රහ නිසා නුඹවහන්සේගේ ශාසනයෙහි මවුපියන් අනු නො දන්නා මහණ කැරවිය නො හැක්කේ ය යි යන ශික්‍ෂාපදයෙකින් වරයක් මට දුන මැනවැ”යි ආරාධනා කළහ. බුදුරජාණන් වහන්සේ පියරජහුගේ බස් අසා “මහරජ මෙ තැන් පටන් මාගේ ශාසනයෙහි මා ඇති කළ වේව යි නැති කළ වේව යි දරු කෙනකුන් මවුපියන්ට නො කියා මහණ කළ නො හැක්කේ ය” ශික්‍ෂාපද පනවා පියරජහු සතුටුකොට සමු දී රජගෙට ම යවා වදාළ සේක.

මෙසේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩි සත්වන දා රාහුල කුමාරයන් මහණ කරවා, අටවන දා උදාසන භික්‍ෂුගණයා පිරිවරා පියරජහුගේ ගෙට වැඩ කැඳ අවුළුපත් වළඳා බත් වළඳන වේලා එනතුරු රජ්ජුරුවන් හා සාකච්ඡා කොට කොට වැඩහුන් සේක. එ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ “ස්වාමීනි! නුඹවහන්සේ දුෂ්කරක්‍රියා පුරන සමයෙහි දේවතාවක් එක් දවසක් රාත්‍රී භාගයෙහි අවුදින් මට කියන්නී: රජ්ජුරුවෙනි! තොප පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ බත් නැතිව වියලී සක්මන් කෙළවර වැටී මළහ යි කිව; ඇය කී බස් අසා මම මාගේ පුතණුවෝ ලොවුතුරා බුදු ව මුත් නො මියති යි කීමි. දෙවනු ව කිව. තුන්වනුව කිව. එසේ කීවත් නො ගිවිස්සෙම ම වේදැ”යි කීහ.

බුදුහු එ තෙපුල් අසා “මහරජ දැන් මා බුදුවන ජාතියෙහි තොප රහත්වන ජාතියෙහි මා මළහ යි කී බස් නො ගිවිස්සේ ආශ්චර්‍ය්‍ය නො වෙයි. පෙර ත් නො ගිවිස්සා ම වේදැ”යි වදාරා තුෂ්ණිම්භූත ව වැඩහුන් සේක.

එ වේලෙහි රජ්ජුරුවෝ හුනස්නෙන් නැඟී බුදුන් වැඳ “මපුතණුවන් වහන්ස! පෙර නුඹ මළහයි කී බස් මා නො ගිවිස්සේ කෙසේ දැ”යි විචාළහ.

එ කල බුදුරජාණන් වහන්සේ පියරජාණන්ට සැඟවී තුබූ මහ නිධානයක් පිධානය ගලවා දක්වන්නාසේ භවයෙන් පටිච්ඡන්න වූ භාවාන්තරගත වූ තමන් වහන්සේ හා පියාණන් වහන්සේගේ පූර්ව චරිත සඞ්ඛ්‍යාත වූ ඉකුත්වත් දක්වා වදාළ සේක. කෙසේ ද? යත්; යටගිය දවස කසීරට ධම්මපාල නම් ගමෙක මහා ධම්මපාල නම් ජ්‍යෙෂ්ඨයාන කෙනෙක් වූහ. උන්ගේ කුලයෙහි යටත් වසයෙන් කෙලි කොල්ලන් දක්වා ත්: ඇම දෙනම රා නො බොති. බොරු නො කියති. සොරකම් නො කෙරෙති. ප්‍රාණඝාත නො කෙරෙති. කේළාම් නො කියති. වාක්පරුෂ නො කියති. මහණ බමුණන් කෙරෙහි ආදර ඇතියාහ. කුලදෙටුවන් පුදන්නාහ. වැඩිමහල්ලන් දැක උසෙක නො හිඳිනාහ. පන්සිල් රකිති. පේවස් රකිති. නොයෙක් ප්‍රකාරයෙන් ම කුශල ධර්මය ම පාලනය කෙරෙති. එසේ හෙයින් ඒ කුලය ධර්මපාල කුලය යි ප්‍රසිද්ධ වී ය. තව ද: ඒ කුල ගෙහි සත්මුත්තෙක පටන් මෙසේ ම අවිනෂ්ට ව පවත්නා වූ කුශල ධර්මයාගේ බලයෙන් ඒකුලෙහි උපන් යම් කෙනෙක් පිළිසිඳ පවන් මවුකුසදී ත් නො මියති. ප්‍රසවකාලයෙහි ත් ඔවුන්ට දුක් නොදී අන්තරායක් නැතිව ම උපදිති. කිසිකෙනකුත් කොර නො වෙති. පිළු නො වෙති. කණ නො වෙති. ගොළු නො වෙති. බිහිරි නො වෙති. කිබිස පියන පමණකුත් වීචර රෝගී නො වෙති. මෙසේ නිරෝගී බැවින් මහලු ව මුත් අන්තරායමරණෙක් සත් මුත්තන් පරම්පරායෙහි නිසි කෙනකුන්ගේත් නැත.

එ කල අපගේ අනන්‍යසාධාරණොත්තම සුරඟනමණි රත්නාලඞ්කෘත සුවිශුද්ධ ශුද්ධ බුද්ධඞ්කුර ශ්‍රි මහා බෝධිසත්ත්‍වයෝ ඒ මහා ධර්මපාල නම් ජ්‍යෙෂ්ඨයාණන් හට පුත්‍ර ව ඉපද ධර්මපාල නම් කුමාරව සොළොස් හැවිරිදි කල දහසින් බැඳි පියලි ගෙණ තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාර්‍ය්‍යයන් දැක ගුරුපූජාකොට නොයෙක් ශිල්පයට පටන් ගෙන පන්සියයක් අතැවැසියන් හා සමඟ ශිල්ප හදාරන්නාහ. එ කල දිසාපාමොක් ආචාර්‍ය්‍යයන්ගේ කුඩා පුතණු කෙනෙක් එක්තරා එක් ව්‍යාධියෙකින් මළහ. ඔවුන් දමා අළු හස් කොට හැම නෑයන් හා අතැවැසියෝ හඬති. වලපිති. ධර්මපාලයෝ නො හඬති. තොප නො හඬන කාරණ කිම්දැ යි විචාළ හෙයින් අපගේ කුලෙහි බාල ව මියන්නෝ නැත. හැම දෙන ම මාලුව මියෙති. එසේ හෙයින් හැඬිමැ යි යන ව්‍යවහාර නො දනුම්හයි කීහ.

ආචාර්‍ය්‍ය එ තෙපුල් අසා ආශ්චර්‍ය්‍ය වූ සිත් ඇති ව ඒ ධර්මපාලයන්ගේ කුලයට ගොස් ආයු බොහෝ වවන ධර්මයන් මම උගනිමි යි සිතාලා පරීක්‍ෂා කරන්නාහු එළුවකු මළ තෙනින් ඇට සුඟක් ඇරගෙන ශෝධාපියා සුවඳ කවා ලා පයියේ ලා ගෙන අතැවැස්සන්ට සොරා එක්තරා අතවැස්සෙකු හා සමඟ පත් කුඩයක් ගෙන ඒ ධර්මපාලයන්ගේ ගමට ගියහ. ඒ ධර්මපාලයන්ගේ පරිවාර ජනයෝ ආචාර්‍ය්‍යයන් පෙරමගට ගොස් වැඩිමාලු කෙනෙකැ යි ආදර කොට අතින් පත්කුඩය ගත්හ. ආචාර්‍ය්‍ය ධර්මපාලයන්ගේ දොරකඩට ගොස් “තමන් පුතණුවන් ධර්මපාල කුමාරයන් අකුරු කැර වූ ආචාරී ආ වනැ යි” කියා යවූහ. මහාධර්මපාලයෝ එ තෙපුල් අසා පෙරමඟට අවුදින් ආචාරීන් තමන්ගේ ඇතුළු ගෙට ගෙන ගොස් හස්නෙක හිඳුවා පය ශෝධවා උපචාර කොට බත්පැන් විචාරා සාද කළහ.

ඉක්බිත්තෙන් දිසාපාමොක් ආචාර්‍ය්‍ය මහාධර්මපාලයන් තමන් ළඟට කැඳවා “තොපට මළකෙනකුන්ගේ අස්නක් කියා අයිමි. සියලු සත්ත්‍වයෝ ම මරණෙන් නැසෙන්නාහු ම ය. එසේ හෙයින් ධර්මපාලයෙනි! මා කියන බසට ශෝක නො කරව. තොප පුතණුවන් ධර්මපාලයන් මා කරා අකුරට ගියවුන් දැක අෂ්ටාදශ ශිල්පයන් හා සූසැට කලා ශිල්පයන් උගන්වා නිමවා ලීමි. තොප දරුවෝ ඉතා නුවණැතියහ. ඉතා ගුණ ඇතියහ. ඉතා යෙදී ගියහ. මොබ එන අවධියේ ලෙඩක්වෙලා මිය ගියාහු ය. දැන් උන් දවාපියා ආමි. යහළු මහා ධර්මපාලයෙනි! ශෝක නො ගනුව”යි කීහ.

ධර්මපාලයෝ එ තෙපුල් අසා සැක නැති ව ඇකයේ අත් ගසා අඬගා සුනහ ආචාර්‍ය්‍ය ඔහු නො ගිවිසි සේ දැක පසුඹියෙහි තුබූ එළු ඇට මෑත්කොට ලා “බොරු කීහ යි සිතූ ද, තොප පුතණුවන් මළ තෙන තුබූ මේ ඇට බලව”යි කියා පෑහ. ධර්මපාලයෝ “මේ බලු ඇට හෝ එළු ඇට ය. ම පුතණුවන්ගේ ඇට නො වෙයි. මාගේ කලෙහි සත් මුත්තෙක පටන් මාලු ව මුත් බාල ව මළ කෙනෙක් නැත. එසේ හෙයින් නො ගිවිසිමි”යි කියා නැවත සුනහ. ඉක්බිත්තෙන් ආචාරී නො ගිවිස්නා සේ දැක සතුටුව “මම තොප පරීක්‍ෂා කරනු පිණිස කීමි. තොප පුතණුවෝ සුවෙන් උන්හ. යාළු තොපගේ කුලෙහි ආයු බොහෝ වන ධර්මයන් මා උගන්මි”යි කීහ. එ කල ධර්මපාලයෝ තමන්ගේ කුලධර්මයන් කියන්නාහු:-

පුබ්බෙව දානා සුමනා භවාම

දදම්පි චෙ අත්තමනා භවාමි,

දත්‍වාපි චෙ නානුතපා ම පච්ඡා

තස්මා හි අම්හං දහරා න මීයරෙ-යි.

යනාදි වසයෙන් තමන්ගේ කුල ධර්මයන් කීවාහු ය. දිසාපාමොක් ආචාරී ඒ ධර්මයන් ඉගෙන තක්සලා නුවරට ගියාහු ය. මහරජ! එ කල මහාධර්මපාලයෝ නම් තෙපි ය, පුතණුවෝ නම් මම ම ය. පෙරත් මා මළහයි කී බොරු බස් අසා නො ගිවිස්වා ම වේදැයි වදාරා මේ මහාධර්මපාල ජාතකය පූර්වාපරසන්ධි ගළපා නිමවා වදාළ සේක.

එ කෙණෙහි ශුද්ධෝදන රජ්ජුරුවෝ ම පුතණුවන් වහන්සේ දැන් මතු නො වෙයි. පෙරත් මට දරු වූ සේක් ම ය යි උපන් සන්තෝෂයෙන් අනාගාමි මාර්ග මාර්ගයට පැමිණියාහු ය.

මෙසේ බුදුන් පළමුව සිඟාවැඩිදා වීථියෙහි දී වදාළ ගාතා දෙක අසා සෝවාන්-සෙදගැමි වූහ; මේ ධර්මපාල ජාතකය අසා අනගැමි වූහ. පසු ව පිරිනිවන් පානා දා දළපුඩුසේසතින් යුක්ත වූ යහනේ වැදහෙව අමාමහනිවන් දුටුවාහු ය යි දතයුතු.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ පළමුවන ගමනෙහි කිඹුල්වත් පුරයට වැඩ දෙවන දා මහාප්‍රාතිහාර්‍ය්‍යයෙන් සිඟා වැඩ ඒ පෙළහරෙහි විස්මයපත් වූ බොහෝ සත්ත්‍වයන් විසින් කරන ලද අප්‍රමාණ වූ සාධුනාද ස්තුතිමඞ්ගල පූජා ය, තුන්වන දා එසේ ම පෙළහරින් සිඟා වැඩ ඒ මඟුලෙහි නන්‍ද මහතෙරුන් මහණකොට එ තැන් පටන් ඔවුන් විසින් කරන ලද ජීවිතාන්ත ප්‍රතිපත්ති පූජා ය, සත්වන දවසු දු එම පෙළහරින් සිඟා වැඩ රහත්තෙරුන් මහණ කොට ඔවුන් විසින් කරන ලද මනෝහර වූ ප්‍රතිපත්ති පූජා ය. පියමහ රජ්ජුරුවන් තුන්මහ තුන්ඵලයෙහි පිහිටුවා ඔවුන් විසිනුදු කරන ලද අප්‍රමාණ වූ චතුර්විධ ප්‍රත්‍යයදාන පූජාය, නමස්කාර පූජා ය, ප්‍රතිපත්ති පූජා ය යි යනාදි වසයෙන් සංඛ්‍යාපථයට අවිෂය වූ බොහෝ වූ අද්භූත වූ පූජාවන් ලත් හෙයිනුත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් “අර්‍හ පූජායං” යනු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැ යි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං-යි.

මේ පූජාවලියෙහි අප බුදුන් කිඹුල්වත් නුවරදී ලත්,

අද්භූත පූජාකථා නම් වූ සොළොස්වන පරිච්ඡේදය නිමි.

17. ජේතවනාරාම පූජා කථා

අනේපිඬු සිටුතුමා බුදු රදුන් දකින්ට යාම

තව ද අප බුදුන් සැවැත්නුවර දී අනේපිඬු මහ සිටාණන්ගෙන් ලද ජේතවනාරාම පූජා නම් කවරහ? යත්;

මෙසේ බුදුරජාණන් වහන්සේ පළමුවන ගමනෙහි ම පියමහරහතන් වහන්සේ තුන්මහ තුන්ඵලයෙහි පිහිටුවා, සඟපිරිස් පිරිවරා, ඒ කිඹුල්වත් නුවරින් නික්ම විසිදහසක් රහතන් පිරිවරා රජගහ නුවර වැඩ එහි සිත නම් මහවෙනෙහි වසන සේක. එ කල රජගහ නුවර ධනසිටානකෙනෙක් ඇතියහ. ඔවුන්ගේ නැගනියෝ සැවැත්නුවර අනේපිඬු මහසිටාණන් කෙරෙහි වෙසෙති. ඔවුන්ගේ නැඟනියෝ රජගහ නුවර සිටාණන් කෙරෙහි වෙසෙති. එසේ හෙයින් ඔහු දෙදෙන භගිනිපතිකා වූ සුහුරුබන්‍ධු, වූහ. එසේ හෙයින් ඔහු දෙදෙන තමන් තමන්ගේ නුවරින් පන්සිය පන්සිය බඩුගැල් ගෙන ඔවුනොවුන්ගේ නුවර ගොස් විකොට එති. නොවිකා නම් ඔවුනොවුන්ගේ ගෙවලට දී යෙති. ඔවුනොවුන්ගේ නුවරට ඔවුනොවුන් වදිනා දවස් ඔවුනොවුන් පෙරමගට ගොස් යොදනෙක පටන් මහපෙළහරින් නුවරට ගෙනෙති. මෙසේ වසන කල අනේපිඬුමහසිටාණන් සැවැත්නුවර සිට රජගහනුවර ගොස් යොදනෙක සිට තමන් ආ පවත් පෙරසේ ම කියා යදුවාහුය.

එදවස් නම් රජගහ නුවර සිටාණන් බුදුන් කරා ගොස් බණ අසා සෙට දවසට පවරා අවුත් මහත් වූ දාන විධානයෙහි යෙදී අවකාශයක් කිසිවකුත් නැති දවසෙක. එසේ හෙයින් සිටාණන් ආ පවත් කියාගතහුනුමෝ නැත. එ කල අනේපිඬුමහසිටාණෝ දැන් එති, දැන් එති යි පෙරමඟ බල බලා වෙහෙසි නො එන හෙයින් මඟ දී දක්නමෝ වේ දැ යි සිතා එන්නාහු මඟදීත් නුදුටුවාහු වාසල දී දකිමි යි සිතා එන්නාහු එසේත් නො දැක මිදුලෙහි දී දක්නෙම් වේ දැයි සිතා දොර මිදුලටත් ගොස් එසේත් නො දැක සිටාණන්ට යම්කිසි ව්‍යසනයෙක් ඇති වනැ යි සිතා ගොස් ඇතුළු ගෙට වන්හ. එකල සිටාණෝ අනේපිඬු මහසිටාණන් දැක සාමීචි කතා කරන්ට අවකාශ නැති හෙයින් සිපගෙන පියා “කිමෙක් ද? සිටාණෙනි! මඟ නිදුක් ව සැපසේ පලා ආදැ ද, බාලයන්ට දුක් නැද්දැ”යි යන මේ දෙබස විතරකින් සාදකොට තෙසු කථාවක් නො කොට “උදුන් බඳුව. දර ගෙනෙව පැන් ගෙනෙව මෙසේ මෙසේ ඛාද්‍යෙභාජ්‍ය සම්පාදනය කරව”යි යනාදි වසයෙන් අප්‍රමාද ව දාන විධානය කොට සවස අනේපිඬුමහසිටාණන් කරා ගොස් සුවදුක් කථාවෙන් සන්හිඳී හුන්හ.

අනේපිඬුමහසිටාණෝ කියන්නාහු “සිටානෙනි! පෙර මා මෙ නුවරට ආ කල පෙරගමන් කොට යොදුනක් තැන් ගොස් මහත් වූ සන්තෝෂයෙන් පිනවා අද මට පෙරගමනුත් නො කළව. සත් කාරයකුත් නො කළව. මා හා කැටිව සාකච්ඡාවකුත් නො කළව. මහත් වූ මඞ්ගගල විධානයක් ම කරව. අද තොපගේ ගෙයි ආවාහ විවාහාදි මහාමඞ්ගල දිනයෙක් ද? මෙ නුවර රජ්ජුරුවන් හා මහ සෙනගට සෙට අමුතු බතක් දෙව් ද? නොහොත් මහත් යාගයක් කරව් දැ”යි විචාළහ. එ වේලෙහි රජගහනුවර සිටාණෝ අනේපිඬු මහසිටාණන්ට කියන්නාහු “යහළු තෙපි නො ඇසූද, සුදොවුන් මහරජාණන් දරු සිදුහත් කුමාරයෝ දැන් ලොවුතුරා බුදුවූහ. දහම්වැසි වස්වා විනෙය ජනසත්ත්‍වයන් සන්තෝෂ කරවමින් සිටියහ. දෙව්බඹුන් තමන්ගේ ශ්‍රිපාදමූලයට ගෙන්වා කුලගැත්තන් සේ මෙහෙ ගනිමින් සිටියහ. එසේ වූ බුදුඋතුමානෝ දැන් අපගේ සිත වෙනෙහි වාසයකරන සේක. මම ඒ බුදුන් කරා ගොස් බණ අසා දහම් අමා උකා බී මත් ව සෙට ඒ බුදුන්ට මහදන් දෙමි යි උමතුවූවාහු තොප හා කුමක සාකච්ඡා කෙරෙම්දැ”යි කීහ.

එ වේලෙහි අනේපිඬුමහසිටාණෝ තමනු දු පෙර බුදුන් දැක පින් රැස්කොට ආ මහ පින්සිඩාණන් හෙයින් හිරුරැස් කලබක් හා සමග සන්තෝෂ වූ මහ පියුමක් සේ බුදුහු ය යි කී වචනය හා සමග උපන් මහා සන්තෝෂයෙන් සකල ශරීරය පුරා ලොමු දහ ගන්වමින් ඉතා විස්මයට පත් ව යහලු නො වළහා කියමි. බුදුකෙනෙක් ම දැ”යි විචාළහ. බුදුකෙනෙක් ම ය යි කීහ. දෙවනුව තුන්වනුවත් විචාළහ; දෙවනුවත් තුන්වනුවත් බුදුහු ම ය යි කීහ. එ වේලෙහි අනේපිඬුමහසිටාණෝ “මා ඇසූයේ ඉතා අද්භූත ව වචනයෙක. කල්ප කෝටියකිනුත් ලැබගත හැක්කා වූ වචනයෙක් නො වෙයි. මට වූයේ වැඩෙක. මා මෙ නුවරට ආයේ ම යෙහෙකැ යි “යහළුව මට සිතැ ඇතියා නම් දැන් ම මා ගෙනගොස් බුදුන් දක්වා පියව”යි කීහ. එ බසට සිටාණෝ කියන්නාහු ‘බුදුන් සිතු සිතූ විට ම දැකළිය නො හැක්ක. නො වේලෙහි ගිය කෙනෙක් ඇත්නම් බුදුහු බුද්ධාසනයෙහි වැඩහිඳ ත්, ගන්‍ධකුටියෙහි වැඩහිඳත්, ගන්‍ධමාලකයෙහි වැඩසිටත් නො පැණෙන සේක් ම ය; ධ්‍යාන සුවයෙන් හෝ වැඩහිඳිනා සේක. දෙවියනට බඹුන්ට, පැන හෝ වදාරණ සේක. සක්දෙව්රජහු වැනියෝ පවා නො වේලෙහි බුදුන් කරා ගොස් දැකගත නො හී ආපස්සෙහි පලායෙති. බුදුන්ගේ අදහස් දත නො හැක්ක. බුදුහු සීවථිකාවක් සමීපයෙහි ත් වසන සේක. මේ මේ කාරණයෙන් බුදුන් දැකීමට මේ වේලාවකුත් නො වෙයි. සෙට උදාසනම කැඳවාගෙන ගොස් බුදුන් දක්වාලමි. අද එක රැයට සැතපී ගනුව”යි කියා සන්හිඳුවා සිටාණන් සත්බුමු මහපායෙහි මතුමාලේ යහන් ගබඩාවේ සැතැප්පූහ.

එ කල අනේපිඬුමහසිටාණෝ ද බුදුන්ගේ නම ඇසූ වේලෙහි පටන් කිසි භාණ්ඩයන්ගේ විධානයකු දු නො කොට කිසි පරිවාර ජනකෙනෙකුන් ලා ත් කථාවක් නො කොට බුද්ධාලම්භන ප්‍රීති නමැති අමා දිය උකා බිමෙන් මුසපත් ව ගියා සේ “බුද්ධො-බුද්ධො” යි කිය කියා යානේ වැදහෙව මෙතෙක් දවස් සේ තිස් පැයකින් හිරු නො නැගී. අද කීප පැයකින් පහන් වී නම් යෙහෙකැයි සිත සිත නිදන්නාහු පළමුවන යම සිහිනෙන් පහන් ව ගියා සේ දැක ඇස් දල්වා බුද්ධාලම්භන ප්‍රීති ශ්‍රද්ධාවෙන් පහන් දහස් දැල්වූවා සේ ගේ කුස දැක “සැබවින් පහන් ව ගිය ඉර පැනනැංගේ වන. කල්යවා නිදාපීම් වන. මා කෙළේ කිමෙක් දැ”යි සිත සිතා ගබඩාවෙහි දොර හැර ගොස් සඳල්ලට බැස අහස බලා නැගෙන හිරක් නො දැක මුදුන බලා සඳ දැක සඳ පියවර බලා දසපෑ ගියේ ය යි දැන නැවත ගබඩාවට වැඳ නිදන්නාහු දෙවන යමෙහි දු එසේ ම ආලෝක දැක දොරට ගොස් බලා විසිපෑ ගියේ ය යි දැන, නැවත ගබඩාවට වැද නිදන්නාහු තුන්වන යාමයෙහි දු එසේ ම ආලෝක දැක පහන් නුවූ බැව් දැන අලුයම් රාත්‍රියෙහි දුටු ආලෝකයෙන් සැබවින් ම පන් වී ම ය යි සිතා බුදුන් කරා යෙමි යි නික්මුණාහ. එ කෙණෙහි සිටාණන්ගේ ශ්‍රද්ධාබලයෙන් දෙවියෝ ම තුණුරුවන්ට තමන්ගේ ගෙදොර විවටාඞ්ගන කරණ මහතාණෝ ය යි සිටාණන් කෙරෙහි පැහැද සත්මාලෙහි මහ දොර සත ම හැර මඟ අලුකොට එකාඞ්ගන කළහ.

එ වේලෙහි අනේපිඬුමහසිටාණෝ මහ වාසලින් පිටත් ව අමු සොහොනකට පැමිණ පළමුවන පයින් එක මිනියෙක පැකිළ, දෙවන පයින් අනික් මිනියෙක පැකිළුනාහ. එ වේලෙහි සිටාණන් පයට මිනිය අති සිහිල් ව වැටහිණ. කුණප ගන්‍ධය ද නාසයට පැනනැංග. නිලමැස්සෝ ද කිලදී නැංගහ. එ කෙණෙහි මිනිකුණපයෙක් වනැ යි උපන්නා වූ මහාප්‍රතිකුක්ලචිත්තයෙන් බුද්ධාලම්බන ප්‍රීතිචිත්තය පසුබට විය. එසේ හෙයින් සිටාණන්ට උපන් ආලෝක අන්තර්ධාන විය. දසදික් අඳුරු විය. එ වේලෙහි සිටාණෝ රාත්‍රිය බවු දැන අමුසොහොනකට පැමිණියෙමි යි සිතා මහත් වූ භය ඉපද ආපසු යෙමි යි සිතා මඳක් පසුබටහ. එ වේලෙහි ඒ සීවථිකාව සමීපයෙහි රුක වසන [84]සීවක නම් සෝවන් දේවතාවා සිටාණන්ට උපන් භය දැක “මතු බුදුන්ට අග්‍රඋපස්ථායක වන පින්වත් සිටාණන්ට අනුබව වෙමි”යි සිතා ආකාශයෙහි විදුලියක් සේ සිටාණන්ට පෙනී කිංකිණිකනාදයක් සේ මධුර වූ නාදයෙන් “යහළු සිටාණෙනි! භය නො ගනුව”යි කීහ.

“සතං හත්‍ථි සතං අස්සා - සතං අස්සතරී රථා,

සතං කඤ්ඤා සහස්සානි - ආමුත්තමණිකුණ්ඩලා;

එකස්ස පදවීතිහාරස්ස - කලං නාගඝන්ති සොළසිං”යි.

යන මේ ගාථාව කියා “යමෙක් ඇතුන් ලක්‍ෂයක්, අසුන් ලක්‍ෂයක්, රථ ලක්‍ෂයක්, දෙවඟනන් බඳු වූ වරඟනන් ලක්‍ෂයක්, යාචකයන්ට දන් දුන්නේ වී නම් එසේ වූ දාන විපාකයටත් වඩා යමෙක් තුණුරුවන් අරබයා වඳින්ට යෙමි. බණ අසන්ට යෙමි යි වෙහෙරකට යේ නම් ඔහු සන්හිඳී යන ගමනෙහි එක් පියවරක් ඔසවා තුබූ කල ඒ පය අග්‍රාඞ්ගුලිය පටන් සිටි පියවර අග්‍රාඞ්ගුලිය දක්වා අන්තරයෙහි මුට්ඨිරත්න ප්‍රමාණ වූ පදවීතිහාර නම් භූමිය සොළොස් කොට්ඨාසයක් කොට එයින් එක් භාගයක් ගෙන, එයි දු සොළොස් භාගයක් කොට මෙසේ මෙසේ ම සොළොස් වාරයක් බෙදූ කල අස් ලොමක් පමණ ඉතා සූක්‍ෂ්ම වූ භූමියෙක් වෙයි. ඒ එක භූමියෙන් ජනිත වූ කුසල සම්භාරය ම සුවහස් ගණන් වඩනේ ම ය. සිටාණෙනි, නො මැලිව යව, දැන් ම ගොස් බුදුන් දකුව, ආපසු නො යව නො යව”යි කීහ. එබසට අනේපිඬු මහසිටාණෝ අහහස බලා දේවතාවා දැක “මම මෙතැන් පටන් එකලා නො වෙමි. දෙවියොත් මා හා සමග ඇත්තාහු ය”යි උපන් භය සන්හිඳුවා නැවත බුද්ධාලම්භන ප්‍රීතිසන්තෝෂ උපදවාගෙන පෙර සේ ම ආලෝක දැක ඉදිරියට යන්නාහු නැවත දෙවාරයෙහිත් මිනියෙක පැකිළුනාහ. එවේලෙහි දු උපන්භය දේවතාවා ම සන්හිඳ විය. තව ද ගොස් තුන්වන වාරයෙහි දු මිනියෙක පැකිළුනාහ. එ වේලෙහි දු උපන් භය දේවතාවා ම සන්හිඳවි ය.

මෙසේ සිටාණෝ දෙවියන්ගේ බලයෙන් හා ශ්‍රද්ධාවෙහි බලයෙන් අලුයම රාත්‍රියෙහි බුදුන් හුන් වෙහෙරට ගොස් බුදුන් නොදැක ම සිතන්නාහු “මේ ලෝකයෙහි ඇපි බුදුම්හ, ඇපි බුදුම්හයි කියා ඇවිදිනෝ බෙහෙව. ඉදින් මොහු සැබෑ බුදුකෙනෙක් වූ නම් මාගේ මවුපියන් තුබූ නම් මා මුත් මාගේ අඹුදරුවොත් නො දන්නාහ. කුල නමින් මට ආමන්ත්‍රණය කොට මා හා සමග කථා කළෝ නම් ඔවුන් සබා බුදුකෙනකුන් නිසා ය. එසේ කළෝ නම් ඔවුන් වඳිමි. පුදමි. සත්කාර කෙරෙමි. නම කියාගත නුහුනුවෝ නම් ඔවුන් නො වඳිමි. නො පුදමි. සත්කාර නො කෙරෙමි. ආපස්සේ යෙමි”යි සිතූහ. එවේලෙහි මාගේ ස්වාමිදරුවෝ ඒ එක සත්‍වයකු තබා අනන්තාපරියන්ත ලෝකධාතුයෙහි සත්ත්‍වයන් සිතූ සිත තමන්වහන්සේගේ එක සිතින් දැනගන්නා තරම් අසාධාරණ වූ බුද්ධඥාන ඇති හෙයින් සිටාණන් සිතූ සිත කරතලාමලකයක් සේදැක සිටාණන් කෙරෙහි උපන්නා වූ මහත්වූ කරුණා ඇති ව “මා වැනි ශාස්තෘෘවක්හට අග්‍රඋපස්ථායක වෙමි යි ප්‍රාර්ථනා කොට ආ පුණ්‍යවන්තයා පෙරමඟට මම ම යෙමි”යි සිතා ගන්‍ධකුටියෙන් බාහ්‍ය ව සක්මන් කොට කොට ගන්‍ධමණ්ඩලමාලකයෙහි වැඩසිට ප්‍රියපුත්‍රයක්හු ම එන පෙරමඟ බලන පෙම්බර මවක් සේ සිටාණන් පෙරමඟ බලා සිට සිටාණන් දැක සක්මණින් ගොස් උන්ට අභිමුඛ ව බුද්ධාසනයෙහි වැඩ හිඳ එ දවස් තමන් වහන්සේ ම සිටාණන්ට නම් තබාලුවා සේ “සුදත්තය! මෙසේ මා කරා පලා වරැ”යි වදාළ සේක.

එ වේලෙහි සිටාණෝ සුදත්තය යි කී බස කණ හීම් හා සමගම බුදුන් සබා බුදුන් බවත්, සව්නේ ගෙවා දත් බවත් විශේෂයෙන් දැන පහන් දිය විලක් සේ බුදුන් කෙරේ පැහැද බුදුන් කරා දිව ගොස් අමාවිලක් දුටු පිපාසිතයකු සේ බුදුන්ගේ චරණනඛ මයූඛ නමැති අමාවිල්හි ගැලි ගැලී සිත් සනහ සනහා පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව දොහොත් මුදුන් දී හිඳ සඳට අභිමුඛ ව සුපුෂ්පිත ව කෞමද වනයක් සේ තමන්ගේ ප්‍රීතීන් ප්‍රමුඛ වූ මුඛයෙන් බුදුන්ගේ මුඛ චන්‍ද්‍රයා බල බලා “කිමෙක් ද? ස්වාමිනි සව්නේ ගෙවා දත් බුදුරජාණෙනි! මා උපන් දවස් නම් තුබූදැ නුඹ ද? මාගේ නම් කවුරු නුඹට කියාලූ ද? ඒ එක බසින් ම නුඹ ලොවුතුරා බුදුබව දත්මි. හස්ති කාන්ති වීණාවක් කණ හුනුවා වූ ඇත් පොව්වකු සේ ම මම ද නුඹවහන්සේගේ මධුර නාදය කණ හුනු වේලෙහි පටන් ශබ්දයෙහි මත්වීමි. එසේ හෙයින් මේ වේලෙහි පටන් මාගේ ජීවිතාන්තය දක්වා නුඹවහන්සේට කුලගැති වීමි. කිමෙක් ද? ස්වාමීනි! රාත්‍රියෙහි දවස්හි සුවෙන් සැතපුනු සේක් දැ? යි විචාළහ. එ වේලෙහි ස්වාමිදරුවෝ වතුරෙහි යන එකකුගෙන් පෙනීගිය අවයමයක් නො හැර ම ගසා අල්වාගෙන ගොඩට තමා කරා හයාගන්නා වූ වීර පුරුෂයකු සේ බුදුන් හුන් කී බස ම ගෙන ඕහට බණ කියා ඔහු සසර සයුරෙන් ගොඩනඟා ගන්මි යි සිතා:-

“සබ්බදා වෙ සුඛ සෙති - බ්‍රාහ්මණො පරිනිබ්බුතො,

යො න ලිම්පති කාමෙසු - සීතිභූතො නිරූපධි.

.

සබ්බා ආසත්තියො ඡෙත්‍වා - විනෙය්‍ය හදයෙ දරං,

උපසන්තො සුඛං සෙති - සන්තිං පප්පුය්‍ය චෙතසො”යි.

යන මේ ගාථා දෙකින් “එසේ ය, සිටාණෙනි! යමෙක් සවාසනා කෙලෙසුන් නසා ශාන්තියට පැමිණියෙක් සුවයෙන් සැතපෙන්නේ වේ දැ”යි වදාරා සිටාණන්ට අනුරූප වූ ධර්මදේශනා කළ සේක. එ වේලෙහි සිටාණෝ යෙළදහසක් කෙළෙසුන් ගෙවා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටා එවේලෙහි වීදුරු පොළොවෙක ගලා හිඳු වූ වජ්‍රඛීලයක් සේ බුද්ධශාසනයෙහි ස්ථිරව පිහිටියා වූ අචල ශ්‍රද්ධා ඇති ව බුදුන්ට ශතසහස්‍ර වචනයෙන් ස්තුති කොට “ස්වාමීනි! ගැත්තවු මෙ නුවරට ආගන්තුක ව ආවත් මාගේ ශ්‍රද්ධා පමණ දානයක් දී ලන්නා කැමැත්තෙමි. සෙට දවසට ගැත්තවුට අනුග්‍රහ කළ මැනවැ”යි බුදුන් පවරාලා සුහුරු බන්‍ධු සිටාණන්ගේ ගෙට ගොසින් නො එක් භාණ්ඩයන් පරීක්‍ෂා කොට දානසම්භාරයන් රැස්කරන්ට පටන් ගත්හ.

ඒ සිටාණෝ එපවත් දැන “තෙපි යහළු මෙ නුවරට ආගන්තුක යව. මම නේවාසිකයෙමි. තොපගේ නුවර දී මා කළමනා යම් දෙයක් තොපට ම භාරවේද? එසේ හෙයින් මාගේ නුවර දී තොප කළමනා දෙය මට ම භාර ය. තොප මාරුවෙහි, දානපරිත්‍යාගය මාගෙන් ම කෙරෙමි යි. තොපි යෙහෙන් හිඳුව”යි කීහ. අනේපිඬු මහසිටාණෝ එසේ නොකෙරෙමි යි. මාගේ පන්සියයක් ගැල් පුරවාගෙන බඩු එක දවසක් තබා තුන්මසක් ම දන් සදතත් දාන පරිත්‍යාගයට ඇත. මාගෙන් ම දෙමි යි කියා නො ගිවිස්සාහ. එකල රජගහනුවර අසූදහසක් නියම්ගමට නායක වූ නේගම ජ්‍යෙෂ්ඨයානෝ ද අනේපිඬු මහසිටාණන් හා අති විශ්වාස ව හිඳිනාහු එ පවත් අසා අවුදින් “යහළු! සියලු දානෝපකරණ මාගෙන් ගනුමි”යි කීහ. උන්ගෙනු දු කිසිවක් නො ගත්හ.

බිම්බිසාර රජ්ජුරුවෝ ද “තොපගේ ගමක් නො වත්, අපගේ භාණ්ඩාගාරයෙන් සියලු පරිත්‍යාග ගෙන දන්දී ගනුව”යි කීහ. ස්වාමීනි, සියල්ල ම මාගෙන් ම සපයමි. අඩුයෙක් ඇත්නම් සැල කරන්නෙම් වේ දැයි මායමින් රජ්ජුරුවනු දු යවා තමන්ගේ ම පරිවාර ජනයන් ඇරගෙන ගිනි දර පැන් ලිප්ගල් දක්වා ත් මිල දී ම ඇරගෙන මහදන් සරහා, දෙවන දවස් බුදුන් වඩාගෙනවුත් තමන්ගේ නැගනියන්ගේ මහා පායෙහිදී ම බුදුන් ප්‍රධාන වූ විසිදහසක් මහරහතන් වළඳවා වළඳා අන්තයෙහි “ස්වාමීනි, අපගේ සැවැත්නුවර නම් ඉතා රම්‍ය වූ නගරයෙක. සත්පනස් කෙළ ලක්‍ෂයක් කුල ඇතියේ ය. සත්කෙළක් මනුෂ්‍යයෝ ඇතියාහ. අවුරුදු පතා ලක්‍ෂ නිමන අසූදහසක් නියම්ගම් ඇතියේ ය. තුන් තුන් සියක් යොදුන් කසී-කොසොල් දෙරටින් නුවරට සතර දිගින් වදිනා අය මහමුහුදු රළපෙළ දිවන්නා සේ මුත් අනික් උපමායෙක් නැත. ස්වාමීනි, අපගේ නුවරට වැඩ වදාළහොතින් ගැත්තවුගේ කෙළ ගණන් ධන නිධාන කොට තිබෙයි. කෙළගණන් ධන නය පොළී පිට තිබෙයි. කෙළගණන් ධන අනුභවයට තිබෙයි. මුතුන් මීමුතුන් රැස්කළ ධන මෙතෙකැ යි පමණ නැත. එයින් අටළොස් කෙළක් ධන නය දුන් තැන් නැති ව ගියේ ය. අටළොස් කෙළක් ධන නිධාන කළ තැන මුහුදුබත් වි ය. ගැත්තවුන්ගේ එසේ නිෂ්ප්‍රයෝජනව නස්නා වූ සිටු සැපත ස්වාමිදරුවන්ගේ සසුන් නමැති කුඹුරෙහි ඉස පියනු කැමැත්තෙමි”යි ආරාධනා කළ. එවේලෙහි අනන්තා පරියන්ත වූ බුදුන් සද්ධර්මප්‍රවාහ කළා වූ ධ්‍යාන ක්‍රීඩා මණ්ඩපයක්ම නියාව දැන වදාරා එ නුවරට මාත් ගියමනා කල් ම ය යි සිතා “සිටාණෙනි! සර්වඥවරයෝ නම් ශූන්‍යාගාරයෙහි රමණය කරන්නාහු නො වෙත් දැ’යි වදාළ සේක.

ජේත රජකුමරුගේ උයන මිලදී ගැනීම

එ වේලෙහි සිටාණෝ බුදුන් වදාළ අභිප්‍රායෙන් “බුදුහු මා ලවා වෙහෙරක් කරවනු කැමැති සේකැ”යි දැන “අදහස් දතිමි. ස්වාමීනි! වෙහෙරක් කරවාලා ගැත්තවූ ආරාධනා කොට එවුකල වැඩවදාළ මැනැවැ”යි ආරාධනා කොට බුදුන් අතින් සියලු ප්‍රතිඥා ලදින් බුදුන් වැඳ සමුගෙන තමන්ගේ නුවරට යන්නාහු මඟයොදනෙන් යොදනෙහි මනුෂ්‍යයන් රැස්කොට “මනුෂ්‍යයෙනි! බුදුහු මේ මග වඩනා සේක. මං සරහව. වෙහෙර කරව. නොපමා වව”යි කිය කියා බුදුගුණයෙන් බොහෝ දෙනා පහදව පහදවා මග පන්සාළිස් යොදනෙහි පන්සාළිස් ලක්‍ෂයක් වියදම්කොට පන්සාළිස් වෙහෙරක් කරවා සැවැත්නුවර ගොස් බුදුන්ට වාසයට මා වෙහෙරක් කරවා ගන්නා පරිද්දෙන් කෙසේ වූ ස්ථානයෙක නුදුරුව නොළංව සත්ත්‍වයන් සිත් සේ ගොස් වැඳ පුදා ගන්නා පරිද්දෙන් යෝග්‍ය දෝ හෝ රම්‍ය දෝ හෝ යි නුවර සිසාරා බලා ඇවිදිනාහු ජේත නම් රාජකුමාරයන්ගේ උයන ඉතා රම්‍ය ය යි දැක උන් කරා ගොස් “රාජකුමාරයන් වහන්ස! නුඹගේ උයන්බිම බුදුන්ට මා වෙහෙරක් කරවා ගන්නා පරිද්දෙන් මාගෙන් මිල ගෙන බිම මට දුන මැනැවැ”යි කීහ. එ බසට රාජකුමාරයෝ “මඳ මිලයකට දෙන්න තබා ඒ බිම ඔටින් සිටුවා රනින් වසා පුරා දුනු නමුත් නොදෙම් ම ය”යි කීහ. එ බසට සිටාණෝ “එක විට ම කී බසින් ම බිම මට දීපු දෑ ය, උයන ගතිමි, උයන ගතිමි” කියා ඇකයේ අත් ගසා සිනාසුනහ. එ වේලෙහි රාජකුමාරයෝ “සිටාණෙනි! තොපට මා උයන දුන්නා නැත. කුමක් දොඩාදැ”යි කීහ. සිටාණෝ නැවතත් “මම උයන ගතිම් ම ය”යි කීහ. රාජකුමාරයෝ “මම උයන නො දිනිම් ම ය යි රාජකුමාරයෝ කීහ.

එ වේලෙහි සිටාණෝ “අප දෙදෙනාගේ බසින් කම් නැත. අධිකරණ සබාවට යම්හයි යුක්ති දන්නෝ අප දෙදෙනා කී බස් අසා නුඹම මට උයන දුන්නැ යි කිවු නම් උයන මාගේ ම ය. නුදුන් නැ යි කිවු නම් නුඹගේ උයන නුඹගේ ම ය”යි කියා රාජ කුමාරයන් කැඳවා ගෙන අධිකරණ සභාවට ගොස් “අප දෙදෙනාගේ මේ අධිකරණය මැදහත් ව කිව මැනැවැ”යි කීහ.

එ සමයෙහි අධිකරණ නායකයෝ දෙදෙනාගේ බස් අසා රාජ කුමාරයන් මුහුණ බලා “යම් වෙළෙඳාමක් කරන කල වස්තු ස්වාමියා නො වටිනා ගරු අගයක් පළමුකොට කියාපු නම් වස්තුව මල කළ නියා ම ය. නුඹ ගරුකොට මිල කියාපී බැවින් ඒ මිල සිටාණන් දීගත නුහුනුමාහු නම් උයන නුඹගේ ම ය. දීගත හුනු වූ නම් උයන සිටාණන්ගේ ම ය”යි කියා රාජ කුමාරයන් පැරදවූහ. එ වේලෙහි රාජකුමාරයෝ පැරද “මාගේ උයන නම් අයමින් විතරින් වඩුදහස් දහස් රියන් ඇතියේ ය. එසේ හෙයින් එක්යාල දොළොසමුණක වපයන්නා වූ මහ බිමෙක මේ සා බිමක් වසා රන් ඔටින් සිටුවා පුරා දී ලීමෙක් නම් කවර නම් සතක්හට පිළිවන් දෙයෙක්දැ”යි සිතා මොහු රනින් පරදවා මාගේ උයන නො දෙම් ම ය යි සිත සිතා “වැලි තොප එසේම තත්පර වූ බැවින් උයන තොපට ම දිනිමි. දැන් ම මට දන් දී ලා ගනුව”යි කීහ.

එ වේලෙහි සිටාණෝ ඉතා සතුටුව රාජකුමාරයන් කැඳවා ගෙන උයනට ගොස් උයනෙහි නිෂ්ප්‍රයෝජන වූ විහාරයට නො තරම් ගස් මුලින් සිඳුවා දම්මවා සඳුන් කපුරු සපු නා පනා අඹ දඹ දොඹ ආදී වූ මාහැඟි ගස් රඳවා උයන්බිම බෙරඇසක් සේ තනා එවේලෙහි ලියන්නන් වෙල්ලාකවරුන් කැඳවා “මාගේ සත්මුත්තක් මුළුල්ලෙහි දොර නො හැර තුබූ අසවල් නිධානයෙහි පිධානය හැර එහි තුබූ මසුරන් ඇම ඇද මෙ බිම් ඇසිල්ලෙකින් පුරව”යි විධාන කළහ. එ වේලෙහි රාජකුමාරයෝ “මොහු කියන්නේ කිමෙක් ද? එක නිධානයෙක වැඩී ගියේ නම් දශලක්‍ෂයක් හෝ තිබෙයි. විසි ලක්‍ෂයක් හෝ තිබෙයි. එසේත් වැඩී ගියේ නම් සියක් ලක්‍ෂයක් හෝ තිබෙයි. එ විතර රනකින් මේ සා බිම මසුරන් සුලස්සෙන් සිටුවා පුරාලිය හැකිදැ”යි සිත සිතා සිටියහ.

එ වේලෙහි සිටාණන්ගේ ලියන්නන් හා මෙල්ලාකවරු දිව දිව ගොසින් සිටාණන්ගේ සත් පවුරු සත් දොරටු ඇතුළෙහි තුබූ ඒ නිධානයෙහි පිධානය හැර ඇතුළට වැද බඩසැළෙක වී මැන හරිනා සේ ලාසුවලින් රන් මැන මැන දෙත්. සිටාණන්ගේ ලක්‍ෂ ගණන් පරිවාර ජනයෝ වැදලා ඔවුනොවුන් පරයා මසුරන් ඇද ඇසිල්ලෙකින් අනූ යාලක් පමණ මසුරන් උයන මැද සැලූහ. එ වේලෙහි සිටාණන් සැලු සැලූ රන් ලක්‍ෂ ගණන් ජනයෝ මිටින් මිටින් ගෙන එක්යහල දොළොසමූණක් වප් යන ඒ සා බිම කිසිවකුත් නො පෙනෙන සේ සුලස්සෙන් සිටුව සිටුවා බුමුතුරුනෙකින් වසන්නා සේ වසාගෙන යන්ට පටන් ගත්හ.

එ වේලෙහි සිටාණෝ ද සක්විති රජයක් ලබන දවසක් සේ මහත් වූ සන්තෝෂයෙන් පිනා තමන්ගේ පිරිවර සිටුවරුන් ගෙනා මේ සඳුන්ගස් ආදි වූ ගසින් වැසී ගියා වූ බිම රන් ලලිය නො හැක්කේ ය. එසේ කල මාගේ පින්කම අඩු ව ගියේ නම් නපුරැ යි සිතා තවත් වඩ වඩා ලා ම පිනෙහි ම ලෝභ කරන්නාහු ඒ රුක්වට සිසාරා මැන මැන එම සා තෙසු බිම්බල ඒ මාරුවෙහි මසුරන් පුර පුරා ගන්නාහු ය. මහ වාසල් බිම තබා අවශේෂ වූ උයන් භූමිය මුළුල්ලෙහි මසුරනින් වසා නිමි කල සිටාණෝ එ වේලෙහි වාසල් බිමෙහි රන් නු ලූ අඩුව දැක මෙ තෙන ද වහා රන් පුරව යි කීහ.

එ වේලෙහි ලියන්නෝ අවුත් “සිටාණන් වහන්ස! නුඹවහන්සේගේ සත්වැනි මුත්තනුවන් වහන්සේ ඒ නිධාන ය කෙළේ අටළොස් කෙළක් මසුරනින. ඒ අටළොස් කෙළක් මසුරන් ම මෙ තෙනට ගෙනනලද, ඒ නිධානයෙහි අලෙවියක් නු වූ නියාවට ලේකම් බලා වදාළ මැනැවැ”යි එම නිධානයෙහි සංග්‍රහ කොට තුබූ තඹපත අකුරු පෑහ. එ කල සිටාණෝ අනික් නිධානයෙකින් රන් ගෙනෙව යි කීහ.

එ වේලෙහි රාජකුමාරයෝ සිටාණන් මේ සා සම්පතක් ගෙනෙත් ගෙනෙත් වඩ වඩා සතුටු ඇති නියාවත් මේ සා ධන පරිත්‍යාගයෙක මඳ දොම්නසකුත් නැති නියාව ත් දැක “ඒකාන්තයෙන් මුන් කරන්නේ මේ සා සම්පතකටත් වඩනා ඉතා උතුම් වූ කටයුත්තෙක් නිසා වුව මැනව. මුන් රන් දී බිම ගන්නා බව ඒකාන්තමය. මා ත් මුන් හා ම එක්වුව මැනැවැ”යි සිතා “සිටාණෙනි! යුක්ති බිණීමෙනුත් මා ම පැරදවුව. රන් දීමෙනුත් මා ම පැරදවුව එ තෙකින් මා බොහෝකොට නො පරදවව. මේ වාසල් බිම තොපගෙන් මට උපකාර කොට දෙව. එ බිමට රන් නො ගෙන්වව. තොපගේ පිනෙහි මා ත් එක්කොට ගන්ව”යි කීහ.

එ වේලෙහි සිටාණෝ ද “තමා කරන කටයුත්තෙක මෙ වැනි ප්‍රසිද්ධ වූ රජදරුවන් එක්වීමෙන් දෝෂයෙක් නැතැ. උනුත් එක් කෙරෙමි”යි සිතා යහපතැ යි ගිවිස එ තෙන රන් නො ලව යි සිටාණෝ නියෝග කොට රාජකුමාරයන්ට වාසල් බිම අළහ. වාසල් බිම ඇර “එසේ වී නම් තෙලෙ රන් හස්කොට ගත මැනව. මට බිම වහා අවසර කොට දුන මැනැවැ”යි කීහ.

එ කල රාජකුමාරයන්ගේ සේවකයෝ සියදහස් ගණන් ගොවිපෝරු ලා ලා ඇද මසුරන් උයනින් පිටත රැස්කොට බිම අවසර කළහ. එ කල සිටාණෝ විහාරකර්මාන්ත පටන් ගන්වා අනන්තාපරියන්ත වූ බුදුන්ගේ ශාසනස්ථාන වූ අවිජහිත භූමියෙහි බුදුන්ට විසිතුරු වූ ගඳ කිළියක් කරවා, වටා සංඝාරාම කරවා රාත්‍රිස්ථාන - දිවාස්ථාන - චංක්‍රමණ - මණ්ඩප - පුෂ්කරණි - විල් - පතැස් පුෂ්පාරාම - ඵලාරාම ආදි වූ නොයෙක් සංඝාරාම දෙවියන්ගේ ද සහායෙන් දිව්‍යකර්මාන්ත සේ විශ්වකර්ම නිර්මිතයක් සේ ඉතා මනෝහර කොට නිමවා සිසාරා සාරදහසක් රියන් හා උසින් අටළොස් රියන් මහ පවුරු කරවා නොබෝ දවසෙකින් නිම වූහ. එහි බුදුන්ට ම කැරවූ ගඳකිළිය සියක් ලක්‍ෂයක් මසුරන් වියදම් කොට කෙළක් අගනා සේ කළහ. සියලු විහාරකර්මාන්ත ම එක් නිධානයෙක් ම පුරා තුබූ අටළොස් කෙළක් මසුරන් වියදම් කොට කළහ.

ඒ අනේපිඬු මහසිටාණෝ මේ කල්‍යාණ මිත්‍රයන් බහුල කෙනෙක “අපගේ සිටාණන්ගේ මේ පින්කමෙහි අපිත් එක්වම්හ. අපිත් එක්වම්හ”යි කිය කියා විශ්වාසයෙන් ඔවුනොවුන් පරයා කරන ලද කර්මාන්ත හා උන්ගෙන් කරන ලද ධනපරිත්‍යාග හා මෙතෙකැ යි පමණ නැත. අවශේෂ වූ සත්ත්‍වයනු දු බුදුන්ගේ නම අසා “බුදුහු ය යි යන කෙනෙක් ල, ඔහු ඉතා සොඳ කෙනෙක් ල, මිහිරි වූ කටහඬ ඇති කෙනෙක් ල. මනෝහර වූ දහම් අමා ඇති කෙනෙක් ල, මොහු කරවන්නේ ඔවුන් හිඳිනා වෙහෙරෙක් ල, අපි අපි දු ඒ උතුමාණන්ට සත්කාර කරම්හ”යි කිය කියා සත්ත්‍වයන් වෙන වෙන කරවාපු කර්මාන්ත හා වෙන වෙන ම කළා වූ ධන පරිත්‍යාග ද මෙ තෙකැ යි පමණ නැත. එ කල ජේත නම් රාජකුමාරයෝ ද සිටාණන් කරන්නා වූ ඒ විහාරකර්මාන්තයෙහි පැහැද “සිටක්හුගේ සම්පත් රජක්හට ඇයි ද, ඔහු දුන් මිල ඔහුගේ විහාරයට ම පරිත්‍යාග කෙරෙමි”යි සිතා නැගෙනහිරි වාසල් භූමියෙහි එක්සිය විසිරියනක් අයම් විතර ඇති සත්මහල් මහා මාලිගාවක් වාසල්කොට කරවා සෙසු තුන් වාසල ද එසේ එසේ ම මනෝහර කොට නිමවා එ බිම ගත් අටළොස් කෙළක් මසුරන් එම වෙහෙර සතර මහවාසල් කර්මාන්තයට ම පරිත්‍යාග කළහ.

එ කල අනේපිඬු මහසිටාණෝ මේ සියලු විහාරකර්මාන්ත නිමි කල බුදුන් පවරා යවුවාහු ය. එ කල බුදුරජාණන් වහන්සේ යොදනෙන් යොදනෙහි සිටාණන් කැරවූ විහාරයෙන් විහාරයෙහි සැතපි සැතපි පන්සාළිස් දවසෙකින් සැවැත්නුවර වැඩිසේක. සිටාණෝ විහාරය මුළුල්ලෙහි ධජ පතාක පුන්කලස් කෙසෙල් ගස් පිළි තොරණින් දිවඋයනක් සේ මහ පූජා සරහා තමන් පුත නුවන් සර්වාභරණයෙන් සරහා පන්සියයක් සිටුකුමරුන් පාවා දී පස්පෑයෙන් දිලියෙන පන්සියයක් ධජපෙළ සමග යවුවාහු ය. ඔවුන් පස්සෙහි මහා සුභද්‍රා නම් සිටුදුව හා චුල්ලසුභද්‍රා නම් සිටු දුව හා දූන් දෙදෙනා දෙව්කුමරියන් සේ සරහා සම වයස් ඇති, පන්සියයක් සිටුදූන් හා සමග පන්සියයක් රන් කලස් දී යවුවා හු ය. ඔවුන් ඉක්බිත්තෙහි සිටාණෝ තමන්ගේ අග්‍ර සිටුදියණියන් පන්සියයක් කුලස්ත්‍රීන් හා සමග සර්වාභරණයෙන් සරහා පන්සියයක් රන් පැන දී යවුවාහු ය. ඒ සිටුදූන් ඉක්බිති ව කොසොල් මහරජ්ජුරුවන්ගේ දියණියෝ සුමනා නම් රාජකුමාරිකාවෝ පන්සියයක් රජකුමරියන් පිරිවරා පන්සියයක් රථ නැගී සර්වාභරණයෙන් සමලඞ්කෘත ව ශක්‍රපුරයෙන් නික්මුණු දෙවඟනන් රැසක් සේ සුවඳමල් කරඬු ගෙන එක පෙළ නමා ගත්හ. ඒ රජ කුමරියන් ඉක්බිති ව පන්සියයක් ඇමතියන් ද සර්වාභරණයෙන් සැරහී මල්කලස් ගෙන නමා ගත්හ. ඔවුන් ඉක්බිති ව මහනුවර වැසියෝ සියලු අලඞ්කාරයෙන් සැරහී සියලු පූජාභාණ්ඩ ගෙන ගණන් නැති ව ගියාහු ය. ඔවුන් හැමදෙන ම මෙසේ ගියකල අනේපිඬු මහසිටාණෝ පන්සියයක් සිටුවරුන් සමග අලුත් සුදු දා වලු පිළී හැඳ පූජා මඟුල්වෙස් ගෙන සුවඳ මල් අතින් ගෙන බුදුන් පෙරමගට ගොසින් දුටහ.

ජේතවන මහා විහාරය පිදීම

ඉක්බිත්තෙන් බුදුරජාණන් වහන්සේ මේ මහපිරිස් පළමුව පූජාවෙන් නික්මුණු කල තමන් වහන්සේ විසි දහසක් සඟපිරිස් ගෙන සවනක් රසින් දිලිහි දිලිහී මහ පෙළහරින් පූජා විඳ විඳ අපරිමේය වූ බුද්ධශ්‍රීන් දෙවුරම් වෙහෙරට වන් සේක. ඉක්බිත්තෙන් අනේපිඬු මහ සිටාණෝ බුදුන්දැක වැඳලා “ස්වාමීනි! මේ වෙහෙර කෙසේ පිළිපදිම් දැ”යි විචාළහ. ස්වාමිදරුවෝ “මහ සිට! මේ විහාරය මේ තෙනට පැමිණි නො පැමිණි සෑම භික්‍ෂූන් උදෙසා සාංඝික කොට දෙව යි වදාළ සේක. එ කෙණෙහි අනේපිඬු මහසිටාණෝ ස්වර්ණාභිංකාරයෙන් පැන් ගෙන “සතර දිගින් වඩනා බුදුපාමොක් මහසඟනට මේ වෙහෙර සාංඝිකකොට දිනිමි”යි කියා බුදුන් ශ්‍රීහස්තයෙහි පැන් වත්කළහ. එ කෙණෙහි ස්වාමිදරුවෝ දෙවුරම් වෙහෙර පිළිගෙන සිටාණන් තමන් ම කැරවූ ධර්මමණ්ඩපයෙහි බුද්ධාසන පැන නැඟී වැඩහිඳ-

“සීතං උණ්හං පටිහන්ති - තතො වාළමිගානි ව,

සිරීංසපෙ ච මකසෙ - සිසිරෙ චාපි වුට්ඨියො”යි.

යනාදීන් ආවාසදානයෙහි අනුසස් මහ පිරිසට දේශනා කොට බොහෝ සතුන් සසරින් මුදා වදාළ සේක.

ඉක්බිත්තෙන් අනේපිඬු මහසිටාණෝ මෙසේ බුදුන්ට ජේතවනාරාමය පිළිගන්වා දවස දවස පූජා කරන්නාහු අටළොස් කෙළක් ධන දාන පූජාවෙහි වියදම් කොට නව මසක් මුළුල්ලෙහි දවස් පතා පූජා කළාහු ය. මෙසේ බිම ගත් මිල ය. විහාරකර්මාන්ත කැරවූ මිල ය, දාන පූජාවට කළ වියදමැ යි මෙසේ සිවුපනස් කෙළක් ධන බුදුන් උදෙසා එක ජේතවනාරාමයට ම වියදම් කළහ.

එහිදී බුදුරදුන් දහම් දෙසීම

මේ විහාරභූමිය නම් අනන්තාපරියන්ත වූ සර්වඥවරයන්ට ම අනන්තාපරිමේය වූ ධනසිටුවරුන් විසින් ම මිල දී ගෙන කරවා පිළිගන්වා එන වෙහෙරෙක් ම ය. සෙසු සර්වඥවරයන් හැර විපස්සී නම් බුදුන්ට ස්වස්තිසේන නම් සිටාණකෙනෙක් මෙම බිම සතර ගව්වක් පමණ තෙන රන් අතුළුවෙන් වසා බිම ගෙන විහාරය කරවා ඒ විපස්සී නම් බුදුන්ට පිළිගන්වා මහාපූජා කළහ. තව ද සිඛී නම් බුදුන්ට සිරිවඩ්ඪක නම් සිටාණකෙනෙක් මෙම බිම තුන් ගව්වක් පමණ තෙන ඝනරන් සීවැලින් වසා මිල දී බිම ගෙන විහාරය කරවා පිළිගන්වා මහාපූජා කළහ. වෙස්සභූ නම් බුදුන්ට ස්වස්තික නම් සිටාණ කෙනෙක් මෙම බිම දෙගව්වක් පමණ තෙන ඝන රනින් ගැසූ ඇතු පයින් වසා මිල දී බිම ගෙන වෙහෙර කරවා පිළිගන්වා මහාපූජා කළහ. කකුසඳ නම් බුදුන් සමයෙහි අච්චුත නම් සිටාණ කෙනෙක් මෙම බිම ගව්වක් පමණ තෙන ඝන රන් උළින් වසා මිල දී බිම ගෙන වෙහෙරක් කරවා පිළිගන්වා මහාපූජා කළහ. තව ද කෝණාගමන නම් බුදුන් සමයෙහි උග්ගත නම් සිටාණ කෙනෙක් මෙම බිම අඩගව්වක් පමණ තෙන රනිබ්බන් පුරා මිල දී බිම ගෙන වෙහෙර කරවා පිළිගන්වා මහාපූජා කළහ. තව ද කාශ්‍යප නම් බුදුන් සමයෙහි මඞ්ගල නම් සිටාණ කෙනෙක් මෙම බිම සොළොස් කිරියක් පමණ තෙන ඝනරන් උළින් වසා මිල දී ගෙන වෙහෙර කරවා පිළිගන්වා මහාපූජා කළහ. දැන් අප මහා ගෞතම බුදුන් සමයෙහි මේ අනේපිඬු මහසිටාණෝ බිජු අට කිරියක් පමණ බිම ඔටින් සිටුවා මසුරනින් වසා ඒ මිල දී බිම ගෙන ජේතවනාරාමය කරවා මෙසේ පිළිගන්වා නව මසක් මුළුල්ලෙහි මහාපූජා කළහ.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ අනන්තාපරියන්ත වූ බුදුන්ගේ මාසයට ම සුදුසු වූ මේ ජේතවනාරාමය හැම බුදුන්ගේ චාරිත්‍ර නො වරදවා පිළිගෙන එදා පටන් දවස් පතා දෙසිය සැත්තෑවක් පමණ දවස් මහාපූජා ලත්හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, ලෝකාචාර්‍ය්‍ය වූ, අනාචාර්‍ය්‍ය වූ, ලෝකාධාර වූ, අනාධාර වූ, ලෝකේශ්වර වූ, අනේශ්වර වූ, ලෝකනාථ වූ, අප්‍රතීනාථ වූ, ලෝකස්වාමි වූ, මාගේ ස්වාමිදරු වූ, මාගේ ම ගුරු වූ, මාගේ ම මවු වූ, මාගේ ම පිය වූ, මාගේ ම දෙවි වූ, මාගේ ම බඹ වූ, මාගේ ම සර්වඥ වූ, මාගේ ම බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක.

එසේ හෙයින් කියන ලදුයේ මැයි:-

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්‍ථානු රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං - යි.

මේ පූජාවලියෙහි අප බුදුන්ට අනේපිඬු මහසිටාණන් විසින් කරන ලද

ජේතවනාරාම පූජා කථා නම් වූ සතළොස් වන පරිච්ඡේදය නිමි.

18. පූර්වාරාම පූජා කථා

සත් හැවිරිදි විශාඛාවන්

තව ද: අප බුදුන් විශාඛා මහා උපාසිකාවන්ගෙන් ලද පූර්වාරාම පූජා නම් කවරහ? යත්;

මේ ඒ විශාඛාවන්ගේ පිළිවෙල කථාව ය.

අප මහා ගෞතම බුදුන් සමයෙහි තුන් සියයක් යොදුන් අගු මගධ දෙ රටට නායක වූ රජගහ නුවර බිම්බිසාර රජහුගේ විජිතයෙහි මැඬ මහසිටාණෝ ය, ජොතිය මහාසිටාණෝ ය, ජටිල මහා සිටාණෝ ය, කාකවලිය මහාසිටාණෝ ය, පූර්ණක නම් මහසිටාණෝ ය යි මහ පොළොව සේ උණු නොවන සම්පත් ඇති හෙයින් අමිත භෝගී ය යි මේ නමින් ප්‍රසිද්ධ වූ මහසිටුවරු පස්දෙනෙක් වූහ. එයින් මැඬ මහසිටාණන්ගේ ගෙයි ඔවුන් ඇතුළු වූ මහ පින්වත්හු පස්දෙනෙක් වෙති. සිටාණෝ ය, චන්‍දුපදුමා නම් සිටුදියණියෝ ය, ධනඤ්ජය නම් පුතණුවෝ ය, සුමනා නම් යෙහෙලනියෝ ය, පුණ්ණක නම් මෙල්ලාකය යි මොහු පස්දෙනෙක් පෙර කළ පිනින් එක ගෙයි මහපින් ඇති ව උපන්නාහ. මේ විශාඛාවෝ නම් ඒ මෙණ්ඩක නම් සිටාණන්ගේ පුතණුවන් ධනඤ්ජය සිටාණන්ගේ ජ්‍යෙෂ්ඨ භාර්‍ය්‍යා වූ සුමනා නම් සිටුදියණියන් කුස පිළිසිඳ ඒ අගුරට භද්දිය නම් නුවර වසන කල මවුකුසින් උපන. ඒ විශාඛාවන් සත්හැවිරිදි අවස්ථාවෙහි මාගේ කරුණා නිධාන වූ, ස්වාමිදරු වූ, බුදුරජාණන් වහන්සේ සෙල නම් මහබමුණානන් ආදි වූ වෛනෙය ජනයන් කෙරෙහි කරන ලද මහාකරුණා ඇති ව මහණගනයා පිරිවරා ඒ භද්දිය නුවරට පැමිණිසේක.

එ කල මැඬ මහසිටාණෝ ස්වාමිදරුවන් තමන්ගේ නුවරට වඩනා බව අසා ම පුතණුවන්ගේ දූ විශාඛාවන් ඒ තමන්ගේ මිනිබිරියන් ළඟට කැඳවා “පුත තොපටත් මඟුල, අපට ත් මඟුල, තෙපි තොප හා සම සත් හැවිරිදි වයස් ඇති පන්සියයක් සිටු කුමරියන් පිරිවරාගෙන පන්සියයක් රථ නැගී මහපෙළහරින් බුදුන් පෙරමගට යව”යි කීහ. එ වේලෙහි ඒ කුමාරිකාවෝ තමන් බුදුසස්නෙහි සැදෑ ඇති ස්ත්‍රීන් කෙරෙහි අග්‍ර වූ තනතුරු ලබන පින් ඇති හෙයිනුත් පූර්ව හේතුසම්පත් ඇති හෙයිනුත් බුදුහු ය යි යන නම අසා ම සන්තෝෂ ව මුතුන් සිටුහු කී පරිද්දෙන් මහපෙළහරින් බුදුන් පෙරමගට ගොස් තමන් බාල වුව ද මහ නුවණ ඇති හෙයින් උත්තමයන් පෙරගට යානා නැඟී යාම ආදර නොවන්නේ ය යි සිතා පයින් ගොස් බුදුන් දැක වැඳ එකත්පස්ව සිටියහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ මේ කුමාරිකා කෙසේ වූ පිනැති එකක් දෝ හෝ පරීක්ෂා කොට මාගේ බුදුසස්නෙහි සියලු ශ්‍රාවකයන්ට මවු තනතුරු ලදින් ශ්‍රද්ධාවන්තයන් කෙරෙහි අග්‍රව මහත් වූ දානපරිත්‍යාගයෙන් බුදුසසුන් හොබවන උත්තම ස්ත්‍රියකැ යි දැක එ කෙණෙහි ධර්මදෙශනා කළසේක. ඒ වේලෙහි විශාඛාවෝ පන්සියයක් කුමරියන් හා සමඟ සෝවාන් වූහ. ඉක්බිත්තෙන් මැඬ මහසිටාණෝ එම දා බුදුන් කරා ගොස් බණ අසා එම දා ම සෝවාන් ව සෙට දවසම බුදුන් පවරා අනෙකප්‍රකාරවූ ඛාද්‍ය භොජ්‍යයෙන් බුදුන් වළඳවා මෙසේ ම දෙපෝයක් මහදන් දුන්හ. බුදුහු ඒ භද්දිය නුවර අභිප්‍රාය කාලයක් වැස නැවත ජෙතවනාරාමයට වැඩිසේක.

එ සමයෙහි සැවැත් නුවර පසේනදි කෝසල රජ්ජුරුවන් නැඟණියෝ රජගහා නුවර බිම්බිසාර රජ්ජුරුවන්ට අග මෙහෙසින් ව වෙසෙති. බිම්බිසාර රජ්ජුරුවන්ගේ නැඟනියෝ පසේනදි කෝසල රජ්ජුරුවන්ට අගමෙහෙසින් ව වෙසෙති. එසේ හෙයින් ඔවුන් දෙදෙන ඔවුනොවුන් භගිනිපතිකා නම් වූ සුහුරුබන්‍ධු වූහ.

දවසෙක කෝසල රජ්ජුරුවෝ සිතන්නාහු බිම්බිසාර රජ්ජුරුවන්ගේ නුවර අමිතභොගී සිටුවරුන් හා මහපින් ඇතියෝ බෙහෙව. උන්ගේ නුවරට ගොස් අමිතභොගී සිටාණ කෙනෙකුන් ඉල්වාගෙන මාගේ නුවරට එමි යි සිතා මහපෙරහරින් රජගහා නුවරට ගොස් බිම්බිසාර රජ්ජුරුවන් හා ප්‍රියකථා කොට “යහළු, තොපගේ නුවරින් අමිතභොගී මහ සිටාණකෙනකුන් මට දෙව’’යි කීහ. රජ්ජුරුවෝ “මේ මහ පොළොව සොල්වාලිය හැකි වී නමුත් ඒ සිටුවරුන් පස්දෙන සොල්වාලිය නොහැක්කේ ය”යි කීහ. එ බසට කෝසල රජ්ජුරුවෝ “එක් සිටාණ කෙනෙකුන් මට නුදුන්නු නම් මම මේ නුවරින් නො යමි. තොප හා මා හා විස්වාසත් නැතැ”යි කීහ. එ වේලෙහි බිම්බිසාර රජ්ජුරුවෝ අමාත්‍යයන් හා සමඟ කථා කොට “මහසිටුවරුන් යවාලීම බැරිවුවත් එක් තරම් සම්පත් ඇති සිටුකෙනකුන් දෙම්හ”යි කියා මැඬ මහ සිටාණන් පුත් යට කී ධනඤ්ජය සිටාණන් කැඳවා කොසොල් රජ්ජුරුවන් කී පවත් ඔවුන්ට කියා “සැවැත් නුවර උන් හා කැටි ව යව”යි කීහ. ධනඤ්ජය සිටාණෝ “නුඹවහන්සේ මා යවනසේක් වී නම් යෙමි”යි කියා ගිවිස්සහ. එ කල බිම්බිසාර රජ්ජුරුවෝ ඒ ධනඤ්ජය සිටාණන් ගිවිස්වා මහත් වූ සත්කාර කොට කොසොල් රජ්ජුරුවන්ට පාවා දී යවුවාහු ය.

ධනංජය සිටාණන්

ඉක්බිත්තෙන් කෝසල රජ්ජුරුවෝ සිටාණන් ලත් සමාධියෙන් සැවැත් නුවරට යන්නාහු අතුරුමග ලැග්මට පාසු තෙනෙක මහසෙනඟ රඳවා ලැගුම් ගත්හ. එදා ධනඤ්ජය සිටාණෝ කොසොල් රජ්ජුරුවන් කරා ගොස් “ස්වාමීනි! මේ කවුරුන් හිමි රට” දැයි විචාළහ. රජ්ජුරුවෝ මාගේ විජිත ය යි කීහ. නුඹ වහන්සේගේ නුවර මේ තෙනට කෙතෙක් තැන්දැයි විචාරා සත් යොදනෙකැ යි කීකල සිටාණෝ “මාගේ පරිවාරජනයෝ බෙහෙව. ඇතුළු නුවර වාසයට සම්බාධ ය. මෙතෙන ම වසනු කැමැත්තෙමි”යි කීහ. එ බසට රජ්ජුරුවෝ සමාධිි ව මහ සෙනඟ ලවා කීප දවසක් ඇතුළත එම තෙන නුවරක් නිමවා සවස ලැග්මට වන් තෙන හෙයින් සාකෙත නුවර ය යි නම් තබා සිටාණන් එ නුවර පිහිටුවා තමන්ගේ සැවත් නුවර ම ගියාහු ය.

එ කල ඒ සැවැත් නුවර මිගාර නම් සිටාණන් පුතණුවෝ පූර්ණවර්ධන නම් කුමාරයෝ වැඩිවිය පැමිණියහ. එ කල මවුපියෝ පුතණුවන් කැඳවා තොප කැමැති ශරණක් කියව යි කීහ. පූර්ණවර්ධනයෝ නම් රූ ඇත්තෙමි යි මන් ඇතියහ. එසේ හෙයින් “ස්ත්‍රියක පාවා දෙතෝතින් පඤ්චකල්‍යාණයෙන් යුක්ත වූ උත්තම ස්ත්‍රියක පාවා දුන මැනව. නැතහොත් මම ශරණ නො කැමැත්තෙමි”යි කීහ. පඤ්චකල්‍යාණ නම් කිම් දැ යි විචාළහ.

පඤ්ච කල්‍යාණය

ඒ පඤ්චකල්‍යාණ නම්: කේශකල්‍යාණ ය, මාංසකල්‍යාණ ය, අස්ථිකල්‍යාණ ය, ඡවිකල්‍යාණ ය, වයොකල්‍යාණ ය යි මෙසේ වූ පසෙක. මෙහි විභාග; මහ පින ඇති ස්ත්‍රියගේ කෙස් මොනර පිල්කලබක් සේ ඡවිවර්ණ ඇති ව මුදා හෙළාපිකල ගොප්මස ගැසී තුන් දරණක් ගසා අග් මුදුන් බලා සිටගන්නි, මේ කේශකල්‍යාණ නම. අධරයුග්ම ය කෙම්ඵල දෙකක් සේ පබළුපත් දෙකක් සේ බුලත් කෑ වේලෙහිත් නො කෑ වේලෙහි ත් හැම වේලෙහි ම ඉතා සුරක්ත ව ඡවිපහස් ඇති ව රත්පැහැ විහි ද විහිද තිබෙයි. මේ ලක්‍ෂණය හාංසකල්‍යාණ නම. දන්තයෝ කොඳ කැකුළු සේ සුදු ව අතුරතුරෙහි සිදුරු නො දී එක් දතක් එක් දතකට උස් නො ව සමකොට හා යොදා ලූ සක්පත් දෙකක් සේ ප්‍රභාසම්පන්න ව සිටිති. මේ ලක්‍ෂණය අස්ථිකල්‍යාණ නම. කැළි වූ ස්ත්‍රියගේ සර්වාඞ්ගය අනික් වර්ණයක් නැති ව ගොතා ගෙළා ලූ නිලුපුල් මල්දමක් සේ තිබෙයි. එළිලි වූ ස්ත්‍රියගේ සකල ශරීරය තලකැලලාදි දෝෂය්ක නැති ව කිණිහිරි මල්පෙත්තක් සේ තිබෙයි. මේ ලක්‍ෂණය ඡවිකල්‍යාණ නම. දසවිසිවාරයෙක දරු ලද ත් යොබ්බනය දරු නොලත් සොළොස් හැවිරිදි ස්ත්‍රියක සේ තිබෙයි. සියක් හවුරුදු පිරුණු කල ත් හිස නරකෙන්දකුත් නො නැගෙයි. මේ ලක්‍ෂණය වයකල්‍යාන නම. මෙසේ වූ ස්ත්‍රියක මට පාවා දුන මැනවැ යි කී හ.

ඉක්බිත්තෙන් මවුපියෝ වේද දන්නා බමුණන් එක්සිය අටදෙනකු ගෙන්වා නිරුදක වූ කිරිබත් කවා සන්තෝෂ කරවා පංච කල්‍යාණයෙන් යුක්ත වූ ස්ත්‍රී දැන් ලොව ඇද්දැ යි විචාරා ඇතැ යි කියා බමුණන් කී කල ඉනුත් අටදෙනකු තෝරාගෙන ඔවුන්ට ප්‍රසාද දී “මුළු දඹදිව ඇවිද පංචකල්‍යාණයෙන් යුක්ත වූ කුමාරිකාවක මපුතණුවන්ට සොයව. ඉදින් දුටු නම් මේ ලක්‍ෂයක් අගනා ස්වර්ණ මාලාව ඒ කුමාරිකාවන් පළඳවාලා වහා එවයි යවුවාහුය. ඒ බමුණෝ අටදෙන තෙසැට දහසක් රාජධානිවල ඇවිද පංචකල්‍යාණයෙන් යුක්ත වූ ස්ත්‍රියක් නො දැක නැවත සැවැත් නුවරට එන්නාහු ඒ ධනංජය සිටාණන් වසන සාකෙත නුවරට පැමිණියහ.

එ කල එ නුවර අවුරුදු පතා කෙළනා වූ නැකැත්කෙළි නම් උත්සවයෙක් විය. එ දා මතුමාලෙන් යටිමාලට නො බස්නා, යට මාලෙන් එළිපත පැන පිටතට නො යන කුලස්ත්‍රීහු තම තමන්ගේ ගෙවලින් නික්ම පිරිවර හා සමග සියලු සතුන්ට ම පෙනි පෙනී උයන් පොකුණු ගංතොට ආදියෙහි සිත් සේ කෙළිමින් සෙමින් ඇවිදිනාහු ය. එ දවස් රජ බමුණු වෙළෙඳ ගොවි සිවු කුලයෙහි ශ්‍රීමත් වූ සල්ලාලපුරුෂයෝ “අද අප හා සමාන කුල ඇති උත්තම ස්ත්‍රීන් සිත් සේ බලම්හයි සුවඳ මල්කඳු ගෙන ඒ ඒ සන්‍ධියෙහි සිට ගෙන කැමැති කැමැති කුලස්ත්‍රීන් කරට මල්දම් දම දමා සිත් සේ කෙළනාහු ය.

එදා ඒ බමුණෝ අටදෙන ද “අද මෙ නුවර කුලස්ත්‍රීහු හැම දෙන ම උත්සවයට පිටත්වෙති. අද ඒකාන්තයෙන් පංචකල්‍යාණයෙන් යුක්ත වූ උත්තම ස්ත්‍රික දකුම්හ”යි සිත සිතා ගංතොට එක් ශාලාවෙක යන එන්නන් බල බලා සිටියහ.

එ වේලෙහි විශාඛාවෝ පසළොස් සොළොස් හැවිරිදි වයසින් සර්වාභරණයෙන් දෙවඟනක සේ සැරහී පන්සියයක් පරිවාරස්ත්‍රීන් පිරිවරා ගඟදිය කෙළියට යන්නාහු ඒ ශාලාව කරා පැමිණියහ. එ කෙණෙහි මහා මේඝයක් නඟා වැස්සෙක් දිව ආය. පන්සියයක් කුමාරිකාවරු ඔවුනොවුන් පරදවා දිව අවුදින් ශාලාවට වන්හ. බමුණෝ ඔවුන් පන්සියයක් දෙනා බලා පංචකල්‍යාණයෙන් යුක්ත වූ එකකුත් නුදුටුවාහු ය. විශාල වූ ශාලාවට එන විශාඛාවෝ වැසි ගුගුරා දිව ත් ඇඟ ඩාපෙදකුත් නො සොල්වා ස්වභාව වූ ගමනින් ම පසු ව අවුදින් ශාලාවට වන්හ. පලන් ආභරණ හා ඉන තිබූ සළුව එක පැහැර තෙමී ගිය.

එ වේලෙහි ඒ බමුණෝ දෙවඟනක සේ එන විශාඛාවන් දැක දිව දිව සන්සල නොව එන නියාවත් නිශ්චල ඇත් ගමනින් ඇඟ නො සොල්වා ස්ත්‍රී ලීලාවෙන් එන නියාවත් දැක “මහපොළොව සේ ධෛර්‍ය්‍යසම්පන්න වූ ඉතා පිනැති දරුකෙනෙකැ”යි කිය කියා සිටියහ. එ වේලෙහි ඒ ශාලාවට අවුත් වන් විශාල වූ ගුණ රූ ඇති විශාඛා නම් කුමාරිකාවන් දැක පරීක්‍ෂා කරන්නාහු සතර මහා කල්‍යාණ ලක්‍ෂණ දැක දන්ත කල්‍යාණය නො දැක “මෑ හා කථාවක් කරවා මෑගේ දන්තකල්‍යාණය හා ශබ්දමාධුර්‍ය්‍යය බලම්හ”යි කියා ඔවුනොවුන්ට ඇස් මරා මහත්කොට සිනාසී “මේ කිඩින් රක්‍ෂාකළ සමණ කෙනෙක් ඇත්නම් කාඩි හා නිමුඩු සාලේ බත් පමණකුත් ලද්දා නම් යෙහෙකැයි සමණන් බත් ගෙලෙහි ගත් කල ඉදින් පැන් සොයා ළිඳට උදාසනක් සේ ගියෝ නම් පැන් ගෙන ගෙට එන කලට ඉර ගල වැටී යෙයි. සමණෝ ඇස් පෙරළා අඹුවන් පැන් ගෙනෙන තුරු සුවසේ වැදහෝනෝ වේ දැ”යි යනාදීන් වෙහෙසුම් කළහ.

එ බසට විශාඛාවෝ: බමුණනි! කා වෙහෙසා දැ යි විචාළහ. එ බස හා සමග ඒ විශාල වූ ශාලාව මිණියක් ගසා ලූ හඬක් සේ මධුර නාදයෙන් සැදී සිටගත. බමුණෝ ඒ මධුර වූ කටහඬ අසා සතුටු ව තව ද උන් හා කථා කරනු කැමැති ව: නැගනියනි! නුඹගේ සුරුකම් කියම්හ. නුඹගේ මෙතෙක් පරිවාර ස්ත්‍රී හැමදෙන ම නො තෙමී මේ ශාලාවට දිවපීහ. නුඹ ඔවුන් හැමදෙනාට පළමුව නො අවුදින් වස්ත්‍රාභරණ තෙමාගෙන පසුව පියා ආයේ නුඹ අත පය සිහින් දැයි විචාළහ.

එ බසට විශාඛාවෝ කියන්නාහු “ආචාර්‍ය්‍යවරුනි! එසේ නො කියව. මම කායබල නැත්තෙම් නො වෙමි. කාරණාකාරණ ද නිමි. දිවීමෙහි ආදීනවයන් නිසා සෙමෙන් සිට අයිමි”යි කීහ. නැගණියනි! ආදීනව නම් කිම් දැ යි බමුණෝ විචාළහ.

එ වේලෙහි විශාඛාවෝ කියන්නාහු “මේ ලෝකයෙහි සතර දෙනෙක් දිවන අවස්ථාවෙහි ඉතා නො සිරියෙති. ඔහු කවරහ යත්: වොටුනු පලන් ලොවට අධිපති රජු කැසපට ගොතා ගෙන කඩු පලඟ අතින් ගෙන රාජාඞ්ගනයෙහි බොහෝ දෙනා දැක්ක දී දිවී නම් බැලු බැලු සත්ත්‍වයෝ “රජකු ලජ්ජා නැති නියා ය. තෙමේ ගොවියෙකු සේ දිවෙයි” කියා නින්‍දා බෙණෙති, එසේ හෙයින් රජු දිවන වේලෙහි ඉතා නො හොබනේ ය. ස්වභාව වූ ගමනින් රාජලීලායෙන් යේ නම් බැලු බැලූවන් ඇසට ඉතා හොබනේ ම ය. තව ද රජහුගේ මඟුලැත් සියලු හස්ත්‍යාලඞ්කාරයෙන් සැරහී මහ වේ මැද දිවේ නම් ඉතා නො හොබනේ ය. ඇත්ගමනින් එ පයින් එ පය තබා යේ නම් ඉතා හොබනේ ම ය. තව ද යම් තාපස කෙනෙක සේවායකු සේ දිව දිව යෙත් නම් ඉතා නො හොබනාහු ය. බොහෝ දෙනා අතින් “මේ මහණ සේවායකු සේ දිවන්නේ ය”යි නින්‍දා ම ලබන්නාහු ය. වියදඬු පමණින් දුර නො බලා සන්හුන් ගමනින් නැවකට වඩාලූ ප්‍රතිමාවක් සේ ඇඟ නො සලා යෙත් නම් ඉතා හොබනාහු ය.

තව ද යම් ස්ත්‍රියක් පුරුෂයකු සේ දිවේ නම් ඉතා නො හොබනී ය. බොහෝ දෙනා අතින් “මෝ තොමෝ ගැහැණියක් නො වෙයි පිරිමියෙකැ”යි කියා නින්‍දා ම අසන්නී ය. ස්ත්‍රී රූපය මඳ මඳ ගමනින් යන කල ඉතා හොබනේ ය. එසේ හෙයින් මේ මේ කාරණයෙන් රජු ය, මඟුලැතු ය, තපස්වි ය, ස්ත්‍රිය යි යන මොහු සතරදෙන නො දිවිය යුක්තාහ. මම ද ඒ සතරදෙනා අතුරෙහි අන්තර්ගතයෙමි. මේ මේ කාරණයෙන් දිව දිව නො ආයෙමි. තව ද අනිත් කාරණයෙකු දු ඇත. මවුපියෝ නම් දූදරුවන් අතුල් පතුල් කන් නාසා තෙල් ගා හඹා මල්දම් පිරිමසන්නා සේ සකස් කොට වඩන්නාහු ය. එසේ හෙයින් අපි විකිණි බඩුවක් වැන්නම්හ. විකිණි බඩුව නම්, මඳක් සිඳී බිඳී ගියේ නම් මඳක් මිරිකී ගියේ නම්, මිල බොහෝ නො වෙයි. එසේ හෙයින් අප දුවන වේලෙහි කුරුඟුලා පටින් හෝ, කැටකින් හෝ, මුලකින් හෝ, පැකිලී හී අතපය රෙදවී ගියේ නම් දෙමව්පියන්ට ම භාර වම්හ. ඈ කෙරකෙල්ල, අපට ඇයි දැ යි පුරුෂයෝ රක්‍ෂා නො කෙරෙති. එසේ හෙයින් දෙමවුපියන්ටත් වැඩ නැත, අපටත් වැඩ නැත. මේ මේ කාරණ සලකාත් නො දිවිමි. සෙමින් සෙමින් අයිමි වස්ත්‍රාභරණ තෙමී ගියේ වී නම් ඒ දෙවනු ව වියළා ගත හැක්ක. අත පය සිඳී බිඳී ගියේ වී නම් ඒ දෙවනුව සන්‍ධි ගලපා ගත නො හැක්කේ වේ දැ”යි කීහ.

එ වේලෙහි බමුණෝ විශාඛාවන් මධුර වූ කථා කරන වේලෙහි දන්තකල්‍යාණයත් දැක ඉතා සතුටු ව ප්‍රියකථාවෙහි පැහැද සාධුකාර දී “අපගේ සිටුකුමාරයන්ට තෙපි ම තරමු ව”යි කියා ලක්‍ෂයක් අගනා රන් මාලාව විශාඛාවන් කර පළඳලූහ. එ වේලෙහි විශාඛාවෝ බමුණන් ආ නුවර නම හා නැඳිමයිලන්ගේ නම් විචාරා අපට සුදුසු වූ කුලයෙක් ම ය යි සන්තෝෂ ව ඒ රන්මාලාව ඉවසා තනතුරු ලත් කල පයින් යාම සුදුසු නො වන්නේ වේ දැ යි සිතා පියාණන්ට කියා යවා පන්සියයක් රථ ගෙන්වා මහපෙළහරින් රථ නැඟී නැවත ගෙට ගියහ.

බ්‍රාහ්මණයෝ ද විශාඛාවන් සමග ගොස් සිටාණන් දැක තමන් ආ නුවර හා සිටු කුලයෙහි නම් හා තමන් ආ කාරණ හා ධනඤ්ජය සිටාණන්ට කීහ. ධනඤ්ජය සිටාණෝ තොපගේ සිටුකුලෙහි සම්පත් කොපමණක් ඇද්දැ යි විචාරා; හතළිස් කෙළක් ධනය ඇතැ යි අසා “ඒ සම්පත් අපගේ දරුවන්ට කසා නානා මිලට ත් මඳ; එසේ හෙයින් ඒ සම්පත් අපගේ සම්පත් බැලූ කල අපට ඒ දෙවියට සමාරක් සේ ත් නො සිතෙයි. එසේ ද වී නමුත් කුල සමකුල බැවින් මාගේ දියණියන්ට ආරක්‍ෂා පමණකුත් ඇත මනා වේ ද, මැනැවැ”යි ගිවිස ඒ බමුණන්ට සත්කාර කොට යවුවා හු ය.

බමුණෝ ගොස් විශාඛාවන්ගේ පවතුත් ධනඤ්ජය සිටාණන් කී පවතුත් මිගාර සිටාණන්ට කීහ. මිගාර සිටාණෝ එ පවත් අසා සතුටු ව බොහෝ වූ ධන ඇති කුලයෙහි කුමාරිකාවක ලද සේ මැනැවැ යි කල් නො යවා ගෙන්වමි යි සිතා ගොසින් එ පවත් කොසොල් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ එ පවත් අසා “මාගේ නුවර මා ම නිසා ආ උතුම් ධන කුලෙහි ඇත්තෝ ය. ඒ සම්බන්‍ධය ද වල නො ගොස් මාගේ නුවර සිටු කුලයට වන සේ මැනැවැ”යි සතුටු ව “ඒ මඟුලට මම ද එමි”යි කීහ. මිගාර සිටාණෝ එ බස් අසා ධනඤ්ජය සිටාණන්ට කියා යවන්නාහු “අපගේ මඟුලට අපගේ රජ්ජුරුවන් වහන්සේ ත් එති යි කී සේක. උන්වහන්සේගේ සත් කෙළක් පමණ මහසෙනඟ ය, උන්වහන්සේ එන කල ඒ සා සෙනඟ හැම ම එති. කළමනා කිමෙක් ද? බත් බුලත් නවාතැන් දී ලිය නො හැක්කේ වේ ද? සොරා ම මඟුල් කරවා පියමෝ දැ”යි කියා යවුවාහු ය. ධනඤ්ජය සිටාණෝ එ බසට සිනාසී “එසේ වූ එක රජ සෙනඟක් තබා දස රජකු හා දස සෙනඟක් ගෙන සැක නැති ව පලා එව. සියල්ල ම පසිඳිනෙම් මම් ම වේ දැ”යි කියා යවුවාහු ය.

එ කල මිගාර සිටාණෝ එ බස් අසා ඔහුගේ වාසි බලම්හ යි රජ්ජුරුවන් හා මන්ත්‍රණය කොට මුළු නුවර වැස්සන්ට කියාලා ඒ සා සැවත් නුවර ගෙ බලන්නන් හැර සත් කෙළක් පමණ සෙනඟ හා කොසොල් රජ්ජුරුවන් හා කැඳවා ගෙන ගොස් දෙගව්වක් තෙන මහ පිරිස රඳවා විවා මඟුලට ආම්හ යි කියා යවූහ. ධනඤ්ජය සිටාණෝ රජ්ජුරුවන් ආදි වූ සියලු ඇමති සිටුවරුන්ට සුදුසු සුදුසු පඬුරු පෙරමඟට යවා අද රෑ ම ලැග්මට ආවමැනැවැ”යි නියෝග කොට දියණියන් ළඟට කැඳවා දියණියන්ගේ නුවණ පරීක්‍ෂා කරනු පිණිස හා දියණියන්ගේ නුවණ බල බොහෝ දෙනාට දක්වනු පිණිස හා “පුත! රජ්ජුරුවන් හා තොපගේ නැදිමයිලන් හා සියලු රජසෙනඟ ම මගුලට ආවාහු ය. රජ යුවරජ ආදීන්ට කවර කවර ගෙයි නවාතැන් ලවමෝ දැ”යි විචාරා මේ මඟුල් නිවන තුරු සියලු සංවිධානය තෙපි ම කරව යි කියා නුවර දියණියන්ට පාවා දුන්හ.

විශාඛාවන් සරණ ගිවිස ගැනීම

ඒ විශාඛාවෝ තමන් සෝවාන් හෙයිනුත්, හේතුසම්පත් ඇති හෙයිනුත්, වීදුරු සමාන තීක්‍ෂණ වූ නුවණ ඇති හෙයිනුත්, යහපතැ යි ගිවිස සියලු තමන්ගේ පරිවාර ජනයන් කැඳවාලා “මේ ගෙය රජ්ජුරුවන්ට සරහව, මේ ගෙය යුවරජ්ජුරුවන්ට සරහව, මේ ගෙය මහඇමැතියන්ට සරහව, මේ ගෙය මාගේ නැදිමයිලන්ට සරහව, මේ ගෙය සිටුවරුන්ට සරහව”යි යනාදීන් සියලු සංවිධාන කොට “මෙ තෙක් දෙන ඇතුන්ට කළමනා දෙය කරව. මෙ තෙක් දෙන අසුන්ට කළමනා දෙය කරව. මේ මඟුල් නිමන තුරු යටත් වසයෙන් රජ්ජුරුවන්ගේ පන්නයන් දක්වාත් තණ දා නො ඇවිද මඟුල් කෙළි ම කෙළ ඇවිදිත්ව”යි කියා මෙසේ සියලු සංවිධාන කළාහු ය. එ දවස් ම විශාඛාවන් පියාණෝ පන්සියයක් බඩාලුන් රැස්කොට මාගේ දියණියන්ට මේල පළඳනාවක් කරව යි පසළොස් දාසක් ඝන රන් හා සතර නැළියක් විදුරු හා එකොළොස් නැළියක් උතුම් වූ මුතු හා දෙවිසි නැළියක් පබලු හා තෙතිස් නැළියක් මැණික් හා මෙසේ මගධ නැළියෙන් සැත්තෑ නැළියක් අනගි අනගි වූ වීදුරු මුතු පබළු මැණික් හා අවශේෂ වූ සත්රුවන් පාවාදී මේල පළඳනාවට පටන් ගැන්වූහ.

එ වේලෙහි රජ්ජුරුවෝ මහපෙළහරින් නුවරට වැද නවාතැන් ගෙන කීප දවසක් සුව සේ දවස් යවා ධනඤ්ජය සිටාණන්ට කියා යවන්නාහු “කිමෙක් ද? සිටාණෙනි! මේ සා රජ සෙනගක් හැර ගෙන අප තොපගේ ගම කල් යවා උන් කල තොපට දුක් මහත. තොපගේ දියණියන් වහා සරණපාවා දී පියව”යි කියා යවූහ. සිටාණෝ කිය යවන්නාහු “දැන් අසළම සම්ප්‍රාප්ත ව ගියේ ය. එසේ හෙයින් මාගේ දියණියන්ට සාරමසක් නකත් නැත. නුඹ වහන්සේගේ සේනාවට උවමනා සියල්ලක් මට භාරය. නුඹ වහන්සේ මේ සාරමස සුවසේ ම වැඩහුන මැනැවැ”යි කියා යවුවාහු ය.[85]

මේල පළඳනාව

එ තැන් පටන් ගෙන ඒ සාකේත නම් නුවර ඒ සාරමස මුළුල්ලෙහි ම එක මඟුල් ගෙයක් සේ විය. රජ්ජුරුවන් ආදි වූ සියලු ඇමැති සෙනඟට මල් සුවඳ වස්ත්‍රාභරණ බත් බුලත් කන බොන දෑ හෝනා හිඳිනා තැන් සියල්ල ම ධනඤ්ජය සිටාණන්ගෙන්ම අඩුවක් නැති ව පසිඳිත් ම ය. සියලු සත්ත්‍වයෝ ම “සිටාණෝ අපට ම අඩු නො කොට පසිඳිති. අපට ම සුව දෙති”යි සිත සිතා වසන්නාහු ය. මෙසේ මඟුල් කරණ කල තුන්මසෙක් පුරා ගිය. මේල පළඳනාවේ කර්මාන්තය තව ද නො මියේ ය. සිටාණන්ගේ සේවකයෝ අවුදින් කියන්නාහු “ස්වාමීනි! බතින් බුලතින් වස්ත්‍රාභරණයෙන් කිසි අඩුවෙක් නැත. එක් බඩසැලෙක වී සම භාගත් නුවූයේ ය. දවසෙක පන්සියයක් ගැල් පිරූ දර නිමයි. එසේ හෙයින් දර සපයාගත නො හැක්කැ”යි කීහ. සිටාණෝ “මාලු ගෙවල් හා මාලු ඇත්හල් අස්හල් විදා පියා බත් පිසව”යි නියෝග කළහ. මෙසේ මාලු ගෙවල් විදා දර ගෙන දෙපෝයක් බත් පිසූ කල තව ද සිටාණන් කරා ගොස් දර නැත්මය යි කීහ. එ වේලෙහි සිටාණෝ “වර්ෂා කාලයෙහි දර සොයා යා නො හැක්ක. මාගේ දියණියන්ට බොහෝ දවසක් කීර්ති පතළ මැනැවැ”යි සිතා පිළිගබඩා ගණනෙක දොර හරවා දළ දළ පිළි ගෙන අත්කර සා වැටි තොට අඹරා තෙල් සැළවල ගල ගලා ලිප්වල උද උදා බත් පිසව. දළ පිළී නිමා ගියේ නම් සිහින් පිළී ගෙන පිසව සිහින් පිළී නිමා ගියේ නම් පට පිළියෙන් පිසව. එයිත් නිමා ගියේ නම් සඳුන් දරින් පිසව, දර සොයා නො යව”යි නියෝග කළහ. මෙසේ එ කල දළ පිළියෙන් ම බත් පිස ඒ සා මහත් සෙනඟට දෙපෝයක් බත් දුන්හ. මෙසේ සාරමසක් වර්ෂා කාලය ගිය කල මේල පළඳනාවත් නිමා ගිය.

ඒ මේල පළඳනාවෙහි හුයකින් අවුණන ඇවිණිල්ලෙක් නැත. හුයින් කළමනා මෙහෙ රිදී කෙන්දෙන් කරන ලද. ඒ පළඳනාව හිස් මුදුනෙන් හෙළාපී කල සර්වාඞ්ගය හොබවාගෙන දෙපිටිපත්ලින් පිටත්ව සිටගත්තී ඒ ඒ ස්ථානයෙහි ඇන යතුරෙන් සන්ධි කරන ලද එහි ගැට ඝනරන් මය ය. මල් රිදී මය ය. මුදුනෙහි එක් සන්ධියෙක. දෙකනට දෙසන්ධියෙක. දෙවුරට දෙසන්ධියෙක. දෙවැල මිටට දෙසන්ධියෙක. දෙඋකුලට දෙසන්ධියෙක. දෙදනට දෙසන්ධියෙකැ යි මෙසේ සියලු ශරීරය ඒ ඒ තැන් හොබවා සිටිනා වූ ඒ ආභරණයෙහි ඒ පළඳනාවෙහි ඉස්මුදුනෙහි එක් මයුර රූපයක් කරන ලද. ඒ මොණරාගේ දකුණැලයෙහි ඝරන්මය වූ පන්සියයක් පියාපත. වමැලයෙහි එසේ ම පන්සියයක් පියාපත. තුඩ ප්‍රවාලමය ව නිමවනලද ඇස් ඉන්‍ද්‍රනීල මාණික්‍යමය ය. ග්‍රීවය හා පිල් ද ඉන්‍ද්‍රනීලයෙන් ම නිමවන ලද. තඹපත් ඝන රනින් ම නිමන ලද. කකුල් ද ඝනරනින් ම නිමනලද. ඒ පළඳනාව පැළඳ ගත් වේලෙහි විශාඛාවන් ඉස්මුදුනෙහි පර්වතයක් මුදුනෙහි නටන මොනරකු සේ ශෝභමාන ය. දහසක් රන්පත් සුළං ගත්කල පඤ්චාංගික තූර්‍ය්‍යනාද සේ මධුර වූ නාද ඇසෙයි. දුර සිටියන්ට ජීවමාන වූ මයුරයෙකැ යි සිතෙයි. ළඟ දුටු කෙනෙක් ම පළඳනා ය යි දනිති. මේ මේල පළඳනාව නව කෙළක් පමණ රන් අගනේ ය. කළ මිල ලක්‍ෂයක් දෙන ලද.

මෙසේ නවකෙළ ලක්‍ෂයක් අගනා මේ මේල පළඳනාව කෙසේ වූ පිනෙකින් ලද්දාහු ද? යත්; මේ මේල පළඳනාව නම් ධන ඇති කුලෙහි උපන් හැම ස්ත්‍රීන්ට ලැබෙන්නා වූ පළඳනාවෙක් නො වෙයි. කාරණ කිම? යත්;

මේ මේල පළඳනාව දරන්නා වූ ස්ත්‍රිය ඇතුන් පස්දෙනකුට බල ඇත මැනැව. ඒ පළඳනාව කරඬුවෙක ලා ලා අල්ලේ තබාගෙන ඇවිදිනා වූ කෙල්ල ද ඇතුන් පස්දෙනකුට ම බල ඇත මැනැව. තෙසැට දහසක් රජනුවර ඇත්තා වූ මේ සා දඹදිව් තෙලෙහි මේ මේල පළඳනාව ලද්දා වූ ස්ත්‍රීහු නම් බන්‍ධුලමල්ල සේනාධිපතීන්ගේ භාර්‍ය්‍යා වූ බන්ධුලමල්ලිකාවෝ ය. බරණැස සේනානී නම් සිටාණන් දූ යස නම් මහ තෙරුන්ගේ මවු වූ අප බුදුන් බුදුවන දා කිරිපිඬු දන් දුන් සුජාතා නම් සිටුදියණියෝ ය. ධනඤ්ජය සිටාණන් දූ වූ මේ විශාඛාවෝ ය යි යන තුන්දෙන ම ලද්දාහු ය. එසේ හෙයින් පින් කළා වූ ස්ත්‍රියකට මුත් මේ මේල පළඳනාව නො ලැබේ මය.

විශාඛාවන් පිළිබඳ නඩු විසඳීම

මේ විශාඛාවෝ පෙර කාශ්‍යප නම් බුදුන් සමයෙහි කිකී නම් රජ්ජුරුවන්ගේ සංඝදාසී නම් දූ ව බොහෝ පින් කරන්නාහු බුදුපාමොක් මහසඟනට අටපිරිකර දී යටත් වසයෙන් ගෙත්තම් මිල හූ ඉදිකටු රඳන්නන් දක්වා ත් සියල්ල ම තමන් නමින් නිම වා අටපිරිකර දුන්නාහ. යම් පුරුෂයෙක් දිනී නම් ඒ කුශලයෙන් ලක්‍ෂ ගණන් කප් සුව විඳ යම් දවසෙක බුදු කෙනකුන් දැක බණ අසා රහත් ව සෘද්ධිමය වූ පාත්‍රා සිවුරු ලත් වේලක නිමා යෙයි. යම් ස්ත්‍රියක් අවපිරික දිනි නම් නොයෙක් කල් සසර සුව විඳ මේ මේල පළඳනාව ලදින් නිවන් දුටු කල නිමා යෙයි. එසේ හෙයින් මේ විශාඛාවෝ ද පෙර තමන් දුන් අටපිරිකර දානයෙහි පිනින් මේ මේල පළඳනාව ලදහ යි දතයුතු.

එදා ඒ විසාඛා නම් දියණියන්ට දායාද සම්පත් දෙන්නා වූ ඒ ධනඤ්ජය සිටාණෝ ගැල් පන්සියයක් මසුරනින් පුරා දුන්හ. තවද පන්සියයක් ගැල් රන්වළඳින් පුරා දුන්හ. පන්සියයක් ගැල් රිදී වළඳින් පුරා දුන්හ. පන්සියයක් ගැල් ලෝ වළඳින් පුරා දුන්හ. පන්සියයක් ගැල් පටකඩ පිළියෙන් පුරා දුන්හ. පන්සියයක් ගැල් සළුපිළියෙන් පුරා දුන්හ. පන්සියයක් ගැල් ගිතෙල් බඳනින් පුරා දුන්හ. පන්සියයක් ගැල් තලතෙල් බඳනින් පුරා දුන්හ. පන්සියයක් ගැල් සුවඳ හැල් සාලින් පුරා දුන්හ. තවද පන්සියයක් ගැල් නගුල් වියදඬු සීවල් කැති උදලුදාකැති ආදිවූ ගොවියා සතින් පුරා දුන්හ. එකි එකී රථයෙහි සර්වාභරණයෙන් සැරහුණු ස්ත්‍රීන් තුන් තුන් දෙනා සිටුවා “මාගේ දියනියන් කව ව, පොව ව, ඇඟ උළව, ඉස්සෝධව, නාවව. මල්සුවඳ පළඳව”යි කියා පන්සියයක් රථ නංවා යෙළදාසක් යෞවන ස්ත්‍රීන් පාවා දුන්හ.

තව ද “මාගේ දියණියන්ට කිරිකන්ට සරක් බානකුත්දුන මනා වේ දැ”යි අඹුවන් හා කථාකොට පියා පසකට ගොස් “කොල! මහ ගාල්වල ඉදි නො හැර කුඩා ගාලෙක ඉදි හරු ව”යි කියා කුඩා ගාලෙක ඉදි හැරවූහ. එ වේලෙහි නික්මුණා වූ ගවයෝ පුළුලින් ඉස්බක් හා දිගින් තුන්ගව්වක් තෙන ඔවුනොවුන් වල්පත්වල තොලු තබා අවකාශයක් නැති ව මහ මුහුදින් දිවු මහ මස් රළක් සේ ගවරළ සිටගත්හ. එවේලෙහි සිටාණෝ “මෙතෙක් ගවයෝ මදරුවන්ට ඇතැ”යි කියා ගාල්කඳ ඉදි ලවාපීහ. එ වේලෙහි විශාඛාවන්ගේ පින් බලයෙන් නවත්ව නවත්වා ත් ගාල් කඩා පැන සැට දහසක් ගොන් හා සැට දහසක් දෙනුන් හා පිටතවැගිර වල්පත් උඩට නඟා ගෙන අස්පෙළක් සේ දිවගෙන තුන්ගව්වෙහි සිටි හරක් රළ පසුකොට පියා පෙර නෙත්තියෙහි දිවන්ට පටන්ගත්හ. එ වේලෙහි ඒ ආශ්චර්‍ය්‍යය දුටු සිටාණන් ඇතුළු වූ සියලු සතුන්ගෙන් සාධුකාර නුදුන් එකද සත්ත්‍වකෙනෙක් නැත. ඒ කෙසේ වූ පින්බලයෙක් ද? යත්;

පෙර මේ විශාඛාවෝ සංඝයා වහන්සේ ස්වහස්තයෙන් ම වළඳවන්නාහු වළඳා අන්තයෙහි සාමණේර භික්‍ෂූන් කරා පලාගොස් “ස්වාමීනි! මේ ආහාර මධුර ය, මේ ප්‍රණීත ය, උතුම් ය, මේ ඛාද්‍ය භොජ්‍ය මැනැවැ’යි කිය කියා නැවත නැවත වඩ වඩාම වැළඳවූවා හුය. ඒ කුශල බලයෙන් දායාද දී අන්තයෙහි එක් ලක්‍ෂ විසිදහසක් ගවයේ ගාල්කඳ පැනගෙන දිවුවාහු ය යි දතයුතු. ඉක්බිත්තෙන් ඒ සිටාණන්ගේ බිරින්ද කියන්නාහු “නුඹ මාගේ දියණියන්ට මේ සා සැපතක් දෙන දෑ උන්ට මෙහෙ කරන කෙලිකොල්ලන් තෙපි තෙපි යවුයයි විභාගයක් නො කෙළෙනැ”යි විචාළහ. සිටුහු කියන්නාහු “නොකැමැති වහලක් කර අල්වා දමා නො යවමි. මාගේ දියණියන් කෙරෙහි ප්‍රේම ඇති කෙනෙක් යෙති. නැති කෙනෙක් නො යෙති” කියා මෙසේ සෙට දවසට ගමනැයි ගම බෙරලවා එදා රෑ දියණියන් තමන්ගේ ඇතුළු ගබඩාවට කැඳවා දියණියන් සමීපයෙහි සිටුවාගෙන “පුතණ්ඩ! කුලයෙහි වසන්නා වූ ස්ත්‍රී නම් ශික්‍ෂිතව වාසය කළ මැනව. නැදිමයිලෝ නම් මඳ අවකාශයක් දුටු කලත් අපටම නින්දා කෙරෙති. එසේ හෙයින්: ඇතුල්ගෙන්, ගිනි පිටතට නො යවව. පිටතින් ගිනි ඇතුළට නො ගනුව. දෙන්නන්ට ත් දෙව, නො දෙන්නන්ටත් නො දෙව. දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙව. සුවයෙන් හිඳුව. සුවයෙන් සැතපෙව. සුවයෙන් ම හිඳ කව ගිනි පරිමසව ඇතුලු ගෙයි දෙවියන් පුදව”යි යන මේ අවවාද දශය සඟවා මහ නුවණැති දියනියන් හෙයින් ඉගැන්වූහ. විශාඛාවෝ ද පියාණන් කී අවවාද තමන්ට විශේෂයෙන් ම දැනෙන හෙයින් විභාග වෙන වෙන ම නො විචාරා සිත තබා ගත්හ. මිගාර සිටාණෝ ඒ ගබඩාවට දෙවන ගබඩාවෙහි සැතපුණාහු මේ අවවාද කථා අසා අඳුරු ගේ කටවන්නා සේ කිසි අර්ථයක් නො දැක “මේ කෙසේ වූ බස්කමෙක් දෝ හෝ’යි සැක කළහ.

ඉක්බිත්තෙන් සිටාණෝ දෙවන දා උදාසන සියලු රජසෙනඟ රැස්කරවා හැම දෙනා මධ්‍යයෙහි මෙල්ලාක සිටුවරුන් අටදෙනකු කැඳවාලා “තමාගේ දියණියන් ගිය තෙන නුගුණයෙක් උපන්නේ වී නමුත් තෙපි අටදෙන ඒ පිරිමසාලව”යි කියාලා නව කෙළ ලක්‍ෂයක් අගනා මේල පළඳනාව දියණියන් පළඳවා “පුතණ්ඩ මේ තොප කසා නානා මිල යැ”යි කියා සිවු පනස් කෙලක් මසුරන් ගැල් පුරා පාවා දී දියණියන් නික්මෙන වේලෙහි “මාගේ දරුවන් කෙරෙහි ප්‍රේම ඇති කෙනෙක් උන් හා කැටි ව යව. මා කෙරේ ප්‍රේම ඇති කෙනෙක් රඳව”යි කියා බත්ගම්වල බෙර ලැවූහ. එ කෙණෙහි සියලු පරිවාර ජනයෝ “අපි අපගේ නැගණියන් හා කැටි ව යම්හ. අපි අපගේ ස්වාමි දියනියන් හා කැටි ව යම්හ”යි යනාදීන් ප්‍රිය තෙපුල් කිය කියා අනුරාධපුර නුවර සා බත්ගම් තුදුසෙක එක කෙනකුත් නො රඳා අවුදින් අමුනු කැඩූ මහ වතුරක් සේ නමාගත්හ. විශාඛාවන් පියාණෝ රජ්ජුරුවන් මිගාර සිටාණන් යුවරජ සෙනෙවිරත් ආදි හැමදෙනාට මහත්ව සත්කාර කොට නොබෝ තෙනක් ගමන් පසුකොට ගොසින් දියණියන් මහත් වූ මඟුලෙන් යවා නැවත ආවාහු ය.

මිගාර සිටානෝ හැමදෙනාට පසුව රථයෙක නැඟී යන්නාහු ආපස්ස බලා මැදින්දින දස මස පවන් වේගයෙන් හමා සියඹරා ගසෙක පත් එකපෙළ දිවන්නා සේ ඔවුනොවුන් පරයා දිවන විශාඛාවන්ගේ පරිවාර දැක “කොල! තෙල දිවන්නෝ බුලත් උදුරා කම්හ යි ඩබරට දිවන මහ පිරිසෙක් ද? නොහොත් සතුරු පිරි සේක්දැ?”යි විචාළහ. සිටියෝ කියන්නාහු ‘නුඹගේ යේලනියන්ගේ දායාද පරිවාර ජනයෝ ය”යි කීහ. සිටාණෝ! මේ තෙක් මිනිසුන්ට නවාතැන් කොයි ද? මෙතෙක් දෙනාට බත් පිළි දෙන්නෝ කවුරු ද? මරා ලුහුබඳව”යි කීහ. විශාඛාවෝ කියන්නාහු ‘ස්වාමීනි! එසේ නො වදාළ මැනැව. එන කෙනකුන් ඉඩදුන මැනැව. තුමු තුමූ ම තම තමන්ට බත් අපයා ගනිති”යි කීහ. මිගාර සිටාණෝ “මෙ තෙක් සත්ත්‍වයන්ගෙන් අපට කාරිය නැතැ”යි කැමැති පමණ පරිවාර හැරගෙන ගොස් සෙසු ජනයන් රඳවා මහත් වූ උත්සවයෙන් යෙහෙලනියන් කැඳවාගෙන සැවැත් නුවරට වන්හ.

විශාඛාවෝ “පටිච්ඡන්න යානාවෙන් යෙම් නම් මාගේ රූප සම්පත්තිය හා මේල පළඳනාව බොහෝ දෙන දැක්ක නොහෙති. බොහෝ දෙනා සිත් සේ බැලුම් මැනැවැ”යි සිතාලා අලඞ්කෘත වූ රථයානාවෙක හිඳගෙන බොහෝ දෙනා ඇස් තමන් කරා හය හයා මහා පෙළහරින් ගොස් ගෙට වන්හ. රජ්ජුරුවන් ආදි වූ මුළු නුවර වාසී “ධනඤ්ජය සිටාණෝ සාර මසක් මුළුල්ලෙහි අප අපට බොහෝ සත්කාර කළාහු ය”යි ගුණ කිය කියා විශාඛාවන්ගේ ගෙට බොහෝ පඬුරු යව්වාහු ය. විශාඛාවෝ ද “මෙ පඬුරෙන් මට කම් නැත. උන් දුන් පඬුරෙන් උන් ඇම දෙනා ම සිත් ගන්මි”යි සිතාලා “මේ මාගේ නැඟණියන්ට දෙව. මේ මාගේ බූනනියන්ට දෙව. මේ මාගේ මයිලනුවන්ට දෙව. මේ මාගේ බැහැනන්ට දෙව. මේ මාගේ මලනුවන්ට දෙව. බෑනනුවන්ට දෙව”යි යනාදීන් වයස් බල බලා සුදුසු සුදුසු වූ නෑකම් කිය කියා උන්ගෙන් යවුවා අනික් ගෙයකට යවා, එ ගෙන් යවුවා අනික් ගෙයකට යවා, හැමදෙනා ම සිත්ගෙන නෑයන් සේ තබා ගත්හ.

මිගාර සිටාණන්ට දහම් දෙසීම

ඒ මිගාර සිටාණෝ නම් මිථ්‍යාදෘෂ්ටි ගත් කෙනෙක ලොවුතුරා බුදුන් එම නුවර ජේතවනාරාමයෙහි වැඩසිටියදී ම රුවන් ආකරයක් බල බලා අඟුරු පස් උකාගන්නා සේ, හැල් කෙත මැද හිඳ කටුසර කන්නකු සේ, චින්තාමාණික්‍යයක් බල බලා දවසේ ගල් ගන්නකු සේ, හඳුන් රුක් බල බලා සුවඳ නිසා රැන්ද දඬු කපන්නා සේ, මී අඹගසෙක ඉඳ කොසඹ පල කන්නකු සේ, ඉරිරස් බල බලා ආලෝක සොයන්නකු සේ, මහගඟ පැන් බල බලා මඩවළෙහි ගැලෙන්නකු සේ, මාගේ ස්වාමිදරුවන් වැනි දෙව්ලෝ නැඟෙන රුවන් හිකක් හැරපියා, නිවන් පුරයට යන රජමාවතක් හැරපියා, දහම් නැමති තන තුඩ තබා අමාමහ නිවන් නමැති කිරි පොවා සියලු සතුන් නමැති දරුවන් සසර දුකින් ගලවන මෙ බඳු වූ නිවන් රස දෙන මැහැනි කෙනකුන් හැරපියා ඒ සිටානෝ ද නිගණ්ඨයන්ගේ දෘෂ්ටිගෙන ඔවුන් රහතුනැ යි කියා පැහැද වාසය කෙරෙති.

ඒ සිටාණෝ පුතණුවන්ගේ ආවාහ මඟුල් කරන්නාහු පැන් නො වකා කිරිබත් පිසවා පන්සියයක් පමණ නිගණ්ඨයන් පවරා තම තමන්ගේ ගෙයි දී කිරිබත් කවන්නාහු “මාගේ යෙහෙලනියෝ මාගේ රහතන්වහන්සේ දැක වැඳ පව් ගෙවා ගනිත්ව”යි කියා යවුවාහු ය. විශාඛාවෝ තමන් සෝවාන් මාර්ගයට පැමිණ ආර්‍ය්‍ය ශ්‍රාවිකාවන් හෙයින් රහතුනැ යි අසා සබා රහත් කමක් දෝ හෝ යි සතුටු ව සර්වාභරණයෙන් සැරහී නිගණ්ඨයන් බත් කන තැනට ගොසින් බලා උපන් වන ම ඉඳ බත් කන නිගණ්ඨයන් දැක නො සතුටු ව “මෙසේ අලජ්ජි වූ හිරිඔතප් නැති, කොල්ලන්ට රහතුනැ යි කියා නුඹවහන්සේ මා මෙ තෙනට කැඳවූ සේ නො යෙදෙයි” කියා මයිලවන්ට දොඩා අනිස අනිස යි කිය කියා නිගණ්ඨයන්ට බැණ බැණ ආපස්සේ ගෙට පලාගියහ. එ වේලෙහි පන්සියයක් නිගණ්ඨයෝ “අනිස අනිස, සිටාණෙනි! තොපගේ පුතණුවන්ට තරම් ශරණක් ගෙන්වා නො දී මහණ භවත් ගෞතමයන්ට ශ්‍රාවිකා වූ මහා කාලකණ්ණි වූ, කෙල්ල කුමක් නිසා පාවා දුනු ද? තොපගේ ගෙයි සියලු සැපත තෙලැගේ පයට වහා අන්තර්ධාන වෙයි. වහා තොපගේ ගෙන් ඇය නෙරුව”යි කටින් කටින් බැණ දෙඩුවාහු ය. සිටාණෝ මුන් කී බසට මහා ධන ඇත කුලයෙන් ගෙනා කුමාරිකාව යවාපීම සුදුසු නො වෙයි සිතා “ස්වාමීනි, බාල දරුවෝ නම් දැනත් කියති. නො දැන ත් කියති. ක්‍ෂමා කළ මැනැවැ”යි නිගණ්ඨයන් සන්හිඳුවා යවා තුමූ උතුම් වූ යානෙක හිඳගෙන නිරුදක වූ කිරිබත් රන් තලියකින් කන්නාහු ය.

එ වේලෙහි රහත් කෙනෙකුන් වහන්සේ සන්සුන් ගුණෙන් නො බැන දොර මිදුලේ සිඟා සිටි සේක. විශාඛාවෝ මයිලනුවන් ඇඟට තල්වටක් සල සලා සිටියාහු ය. දොර වැඩ සිටි රහතන් වහන්සේ දැක තුමූ පෙනිලා “ස්වාමීනි! අනික් දොරකඩ වැඩවදාළ මැනව. මාගේ මයිලනුවෝ පුරාණය කති”යි කීහ. එ බසට රහතන් වහන්සේ වැඩපී සේක. සිටාණෝ “පුරාණය කති”යි කී බසට කිපී අත තුබූ බත් පිඩ දමා ඉදිරියෙහි තුබූ බත් ඉවත් කරවා “මේ කෙල්ල මාගේ ගෙන් වහා ඉවත් කරව, මේ සා මඟුලෙක උතුම් වූ අග්‍ර භෝජනයක් කන්නා වූ මට අසූචි කති යි කිව. මාගේ රහතන් වහන්සේත් මෑගේ තරම් කී සේක. මහා නො ශික්‍ෂිත එකකැ”යි කිපී “තෙල ඈත ලව”යි කීහ. සිටාණන් එසේ කීවත් සියලු පරිවාර ජනයෝ ම විශාඛාවන්ගේ ම හෙයින් කිසිවෙකුත් මුවෙන් නො බැණ සිටියාහ.

එ කෙණෙහි විශාඛාවෝ කිසි භයකු ත් නැති ව “මයිලනුවන් වහන්ස! නුඹ එන්ට කී කල එන්ටත් යන්ට කී කල යන්ටත් මා කළමිඩියක නො වත්, මාගේ මවුපියන් ඇති වුව, මවුපියන් ඇති දූදරුවෝ තෙල සේ වූ බසට පලා නො යෙත් ම ය. මා එවන දවස් මපියාණන් වහන්සේ සියලු පිරිස් හා නුඹවහන්සේ දැක්ක දී කෙළඹියන් අටදෙනකු මට පාවා දීලා “ම දරුවන් ගිය තෙන කිසි යම් වරදෙක් උපන් නම් තෙපි අටදෙන ඒ පිරිමසව”යි කියාලා එවා වදාළ සේක් වේ ද, දැනුදු උන් අටදෙනා ම කැඳවාලා මා කළ වරදක් උන් මැදයෙහි ගිවිස්සාලව මැනව. එකල නිහඬක් දන්නෙම් වේ දැ”යි කීහ. එ බසට සිටාණෝ ‘ඈ කීයේ කාරණ ම ය”යි සිතාලා කෙළඹියන් අටදෙනා එ තෙනට කැඳවාලා “මේ කෙළි මා නිරුදක වූ කිරිබත කමින් ඉන්ද දී අශුචි කති යි මට බිණුව. ඈ හැරගෙන තොපගේ ගමට යව”යි කීහ. කෙළඹියෝ එ බස් අසා විශාඛාවන් මුහුණ බලා “සබා ද නැගණියනි, එසේ ම කියාපු දෑ දැ”යි විචාළහ.

විශාඛාවෝ කියන්නාහු “මම අසූචි කති”යි නො කීයෙමි බල එකෙක් ඇත. පිඬු සිඟා මෙ දොරට තෙර කෙනෙකුන් වහන්සේ වැඩි දෑ ය මුන්වන්සේ ඔබ දැක දැක ම මුයෙන් නො බැණ කරබා ගෙන හිඳ බත් කන දෑ ය. එ වේලෙහි මම උන්වහන්සේට “ස්වාමීනි! අනික් දොරකට වැඩපුව මැනැව. මාගේ මයිලනුවන් වහන්සේ පුරාණයේ කළ පින් ම අනුභව කරණ දෑ ය. දැන් පින් නො කරන දෑය’යි සිතාලා ‘පුරාණයක් කන දෑ ය’ කීමි. සෙසු මා කී දෙයෙක් නැතැ”යි කීහ. එ වේලෙහි කෙළඹියෝ “එ කල නුඹවහන්සේ කිපුනේ ඇයි ද? අපගේ නැගණියන් කී වරදෙක් නැතැ”යි කියා සිටාණන් අතින් විචාළහ.

සිටාණෝ එ බසෙහි අර්ථ දැන එ බසට ක්‍ෂමා කොට “තව ද එක් දා මධ්‍යම රාත්‍රියෙහි මේ කෙළි දඬුවැට පහන් ගෙන්වාගෙන ගෙන් පිටතට ගියිාහ. ඒ ගිය කාරණ විචාරව”යි කීහ. කෙළෙඹියෝ “සබා ද නැගණියනි”යි කීහ. විශාඛාවෝ “අනික් කටයුත්තක් නිසා නො ගියෙමි. මේ ගෙයි වෙළඹක් දරුවන් වදාපුව. මම ඒ අසා එම වේලෙහි ම දඬුවැට පහන් ගෙන්වාගෙන ඒ අශ්වශාලාවට ගොස් හුණු පැනින් නාවා සර්වාඞ්ගයෙහි තෙල් ගල්වා කළමනා සත්කාර ඈට කරවා වැදහොත්තෙමි. අනික් සැකයෙක් නැතැ”යි කීහ. කෙළඹියෝ එ බස් අසා “අපගේ නැගණියන් වහන්සේ නුඹගේ ගෙයි වහල්ලුත් නො කළමනා දෙය කරණ දෑ ය. එයිත් වරදෙක් දැ”යි කීහ.

සිටාණෝ එ වරද ත් ක්‍ෂමා කොට “තව ද: මුන්ගේ පියාණෝ සරණ දෙන ද රෑ අවවාද පසාරයෙන් දස මායමක් කීහ. එහි අර්ථ මට නො දැනෙයි. එසේ හෙයින් මා මුන් කෙරේ සැක මහත. එහි අර්ථ විචාරනු කැමැත්තෙමි. මුන්ගේ පියාණෝ: පුතණ්ඩ! ගෙන් ගිනි පිටත නො දෙව යි කීහ. ඒ කිමෙක් ද? ඉක්බිති ගෙට ගිනි පමණකුත් නො දී මුන් අපගේ පුතණුවන්ට දීග ගෙන බොහෝ දෙනාට වැඩ කරන්නේ කෙසේ දැ”යි විචාළහ. එ බසට කෙළඹියෝ “සබා ද නැගණියනි”යි කීහ. විශාඛාවෝ එ බසට කියන්නාහු “අපගේ කුලෙහි ගිනිතබා සියලු රන්රුවන් ආදියත් ඉල්වා ආ කෙනකුන්ට නැතැ යි යන බසක් කියන කෙනෙක් නැත. දරදඬු කඩකට ලෝභයෙන් ගිනි නො දෙව යි කී නියා නො වෙයි. පුත තොපගේ නැදිමයිලන්ගේ වේව යි සමණන්ගේ වේව යි මඳ මඳ වරදක් දුටු නමුත් බැහැර කිසි කෙනකුන්ටත් නො කියව. ඊට වඩනා ගින්නෙක් අනික් නැත. එසේ හෙයින් කේළාම් නො කියව යි කී නියා ය”යි කීහ.

සිටාණෝ එ බසට සතුටු ව “තව ද තොපගේ පියාණෝ ‘බැහැරින් ගිනි ගෙට නො ගෙනව’යි කිවූ ය. තමාගේ ගෙයි ගිනි නිවී ගිය කල බැහැරින් ගිනි නො ගෙන අවුත් බත් පිස කන්නේ කෙසේ දැ”යි විචාළහ. එ බසට විශාඛාවෝ කියන්නාහු “ගිනි නො ගෙනව යි කී නියා නො වෙයි. බැහැර යම් යම් කෙනෙක් පුත තොපගේ නැදිමයිලන් හා සමණන්ගේ යම් යම් නුගුණයක් කියාලු නමුත් තෙපි දෙවනුව ගෙට අවුදින් අසවල්ලු අසවල්ලු නුඹට මෙසේ මෙසේ බිණූ ය යි කියා ගිනි සේ කුප්පා ගතු නො කියව යි ඉගැන්වූ නියා ය”යි කීහ.

එ වේලෙහි ද සිටාණෝ සතුටු ව සෙසු පැන ද පිළිවෙලින් ම යෙහෙලනියන් විචාළහ. යෙහෙලනියෝ ද පිළිවෙලින් ම පැන විසඳන්නාහු “නො දෙන්නට ත් නො දෙව යි කීයේ නම් යමකේ පිරුළක් ඉල්වා ගන්නා කල මිහිරි තෙපුල් කිය කියා ඇසිල්ලෙකින් දීලමි යි බොරුයෙන් වඤ්චාකොට පියා හැරගෙන පලාගොස් [86]නිපිසිකාවන් සේ මුයෙන් නො බැණ වැද හිඳිනේ ද, නොයෙක් වාරයෙහි ගොස් ඉල්ලූ කල ත් අද දෙමි සෙට දෙමි යි කිය කියා කල් යවා නො දෙන්නේ ද එසේ වූ සත්ත්‍වයාට පුත පිරුළු නො දෙව යි ඉගැන්වූ නියා ය. දෙන්නන්ට ත් දෙව යි කීයේ නම් යම් සත්ත්‍ව කෙනෙක් මෙතෙක් කලින් පාවා දෙමි යි කියාලා නය හෝ පිරුළු හෝ ඉල්වාගෙන ගොස් ඉන් තමන් වුව මනා ප්‍රයෝජනත් විඳගෙන කී අවධියට හෝ පළමු ව හෝ නො නසා ගෙන අවුත් පාවා දීලති. එසේ සබා වූ සත්ත්‍වයන්ට නයත් පිරුළුත් ඉල්ලූ යම් පමණක් ම දෙව යි ඉගැන්වූ නියා ය. දෙන්නන්ටත් නො දෙන්නන්ටත් දෙව යි කීයේ නම් දුඃඛිත වූ නෑසිය කෙනෙක් වේව යි දිළිඳු වූ යාචකයෝ වේව යි තමා ම ඇසුරු කළෝ වේ දැ යි අවුදින් යම් යම් සම්පතක් ඉල්ලූ කෙනෙක් ඇත්නම් දෙවනු. දීලිය නොහෙත් නමුත් හෙත් නමුත් පරීක්‍ෂා නො කොට උන්ට දිය යුතු ය යි කී නියා ය. සුවයෙන් හිඳුව යි කීයේ නම් කාලා බීලා අටල්ලට නැඟීලා ගෙයි ගිනි ගෙන යේ නමුත් නො බැණ දෙවියන් සේ නො සැලී හිඳුව යි කී නියා නො වෙයි. පුත තොපගේ නැඳිමයිලන් හා සමණන් දැක නැඟී සිටිනා තරම් උස් පුටුවේ නොඉඳ සැක නැතිව හිඳිනා තරම් අස්නෙක සුවයෙන් ඉඳුව යි කී නියා ය.

සුවයෙන් කව යි කී නියා නම් හැම දෙන ම සයින් ඉන්ද දී තෙපි පළමුව සුවසේ කා පුරා පියව යි කී නියා නො වෙයි. තොපගේ නැදිමයිලන් හා ස්වාමීහු හා සියලුකැවිය යුත්තන් කවාලා කෑවත් නො කෑවත් පරීක්‍ෂා කොට සියල්ලවුන් ම සන්හිඳුවා පසුව වික්‍ෂෙප නැති ව සුවයෙන් හිඳ කව යි කී නියා ය. සුවයෙන් ම වැද හොව යි කීයේ නම් රෑවන්නට පළමුව බඩ පුරා කාලා ඇඳට නැගීලා වක ගසාගෙන වැදහොව යි කී නියා නො වෙයි. නැදිමයිලන් හා ස්වාමීහු කා බී සැතපුනු කල ඔවුන්ට කළ මනා උපචාර කරවාලා පසුව පුත තෙපි සුවසේ ම සැතපෙව යි කී නියා ය. ගිනි පිරිමසව යි කීයේ නම් ලිප් මුල කෙළිල්ලෙන් වැද හිඳ රෑත් දාවලුත් කම සේ නැතිව ම ගිනි පිඹ පිඹ හිඳුව යි කී නියා නො වෙයි, නැදිමයිලන් හා ස්වාමීහු නයින් කොට ගිනි කොට සිතව යි කී නියා ය. ඇතුළු ගෙයි දෙවියන් වඳුව යි කීයේ නම් ගේ මැද ගිනි දෙවියන් හෝ පුදව, නුඹගේ ශිවලිඞ්ග දෙවියන් හෝ තබාගන නිරන්තරයෙන් වඳුව යි කී නියා නො වෙයි. එක ගෙයි වසන නැදිමයිලන් හා ස්වාමීහු දෙවියන් දුටුවා සේ වඳුව, පුදව, ආදර කරව, යි කී නියා ය. යනාදීන් මෙසේ මේ දශ අවවාදයෙහි අර්ථ විශාඛාවෝ චිත්‍රකථික වූ පණ්ඩිත කෙනකුන් සේ මයිලනුවන්ට විශේෂයෙන් කීය. සිටාණෝ මේ අවවාද කථා අසා ගොදුරක් ගිලූ පිඹුරකු සේ, ඖෂධයක් දුටු නයකු සේ, මුයෙන් නො බැණ ආශ්චර්‍ය්‍යයට පැමිණ උත්තරයක් කියාගත නො හී කරබාගෙන උන්හ.

එ වේලෙහි කෙළඹියෝ අටදෙන “කිමෙක් ද? සිටාණන් වහන්ස! අපගේ නැගණියන්ගේ තවත් වරදෙක් ඇද්දැ? යි විචාරා “කිසි වරදෙක් නැතැ”යි සිටාණන් කී කල “අපගේ නිවරද නැඟණියන් කුමක් නිසා ගෙන් නෙරනා සේක් දැ”යි කීහ. එ වේලෙහි විශාඛාවෝ “මා නිවරද බවට තෙපි අට දෙනනම දෙස් වව, දැන් ම මම මාගේ ගමට යෙමි, කෙලි කොල්ලන් රැස් වන්නේ ය. දායාද සම්පත් වහා සොලවව”යි නියෝග කළහ.

එ වේලෙහි මිගාර සිටාණෝ ලය ඉපිළ හී හුනස්නෙන් පැන නැගී සිටුවරුන් අට දෙනා ම අත් අල්වා ගෙන විශාඛාවන් ක්‍ෂමා කරවන්නාහු “යෙහෙලි! මා නො දැන කියාපි වරද ක්‍ෂමා කරව. නො යව”යි කීහ. එ වේලෙහි විශාඛාවෝ “මම ක්‍ෂමා කෙළෙම් ම ය. එසේ ද වුව ත් බුදුසස්නේ අචල වූ ශ්‍රද්ධා ඇති කුලදුවකිමි. නුඹ මිථ්‍යා දෘෂ්ටි ගත් දෑ ය. මා සිත් සේ තුණුරුවන් වැඳපුදා දන් දී බණ අසා ගන්නා වරයක් ලදිම් නම් මෙ ගෙයි රඳමි. නැත නො රඳමි”යි කීහ. එ බසට මයිලනුවෝ කියන්නාහු “තොපගේ බුදුන් සඟුන් සිත් සේ ගෙනවුත් දන් දෙව. බණ අසව”යි වර දුන්හ. එ වේලෙහි විශාඛාවෝ රඳා දෙවන දා බුදුන් ප්‍රධාන වූ පන්සීයක් රහතන් පවරා එම විට ම ගෙනවුත් අලඞ්කෘත කොට ගෙය සරහා උතුම් වූ බුද්ධසාසනයක් පනවා බුදු පාමොක් සංඝයා හට නිරුදක වූ කිරිබත් පිසවා බුදුන් වළඳවන්නාහු “මයිලනුවන් වහන්ස! මාගේ බුදුන් හා සංඝයා වහන්සේ වළඳවන්ට ආව මැනැවැ”යි කියා යවූහ.

එ වේලෙහි නිගණ්ඨයෝ බුදුන් සිටාණන්ගේ ගෙයි දී වළඳන්ට වැඩිය යි අසා “අද අපගේ බත් කෙත අපවත් වෙයි. ඉතිකින් අපකටලා පස් හෙයි. මහණ භවත් ගෞතමයෝ ආවතීහ මායම් දනිති. උන්ගේ රූප ශ්‍රී දුටු වූ නම් අප හැම ජරපත් වඳුරන් කොට ත් නො සිතති. උන්ගේ මධුර වූ නාදයෙන් කියන බණ කථා ඇසුවු නම් අපගේ බස් කැණහිල්ලන්ගේ අඬකොටත් නො සිතේ. පළමුව පලාගොස් ඒ සිටාණන් උන් දැක්ක නෙ ාදෙන ලෙසක් කරම්හ”යි පන්සියයක් නිගණ්ඨයෝ පළමුව දිව අවුදින් සිටාණන් සිසාරා හිඳගෙන “අපි තොපට නේවාසිකවම්හ. මහණ භවත් ගෞතමයෝ තොපට ආගන්තුකයෝ ය. උන් වළඳන තැනට ගියා නම් නිවන් මඟ අකුල් ලූවා හා සමානය. නො යව”යි යා නුදුන්නාහු ය.

බුදුන් වළඳා අන්තයෙහි වතාවත් කොට තුමූ අනුමෝදනා බණ අසන්නාහු “මාගේ මයිලනුවන් වහන්සේ මා කෙරෙහි සබා වූ කරුණාවක් ඇත් නම් මාගේ බුදුන් අතින් අද එක බණ පදයක්වත් ඇසුව මැනැව”යි කියා යවූහ. එ වේලෙහි සිටාණෝ “මා යේලි මහනුවණ ඇත්තී ය. ඒකාන්තයෙන් මට අවැඩක් වන දෙයක් නො කියති. ඈ කීවා ම කෙරෙමි” සිතා නික්මුණාහ. එ වේලෙහි නිගණ්ඨයෝ සිටාණන් රඳවාගත නොහී “සිටාණෙනි! තොප යන බැවින් මහණ භවත් ගෞතමයන්ගේ මුහුණ දුටු නම් තොපට බොහෝ පව් රැස් වෙයි. උන් මුහුණ නො බලා කඩතුරාවක් මුවායෙහි අසෙක කරබාගෙන හිඳ බණ අසව”යි කියා තුමූ පළමුව පලාගොස් සිටාණන්ට බුදුන් නො පෙනෙන සේ මහ තිරයක් ඇද බුදුන් මුවා කළහ. සිටාණෝ තිරය මුවායෙන් ගොස් බුදුන් නො පෙනී බණ අසමි යි හිඳගත්හ.

එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ ඒ සිටාණන්ගේ හේතුසම්පත් ඇති සේ දැක උන්ගේ චරිත පරීක්‍ෂා කොට පියා “මිගාර සිට! තා නිරයෙන් පිටත උන මැනැවැ පවුනේ පිටත උන මැනැවැ. ගඟින් එ තෙර උන මැනව. මුහුදින් එ තෙර උන මැනැව. හිමවුගලින් එපිට උන මැනැව. මෙරගලින් එපිට උන මැනැව. සක්වළ ගලින් එ පිට උන මැනැව. පරසක්වළ උන මැනැව. සියක් වන සක්වළ උන මැනැව. දාසක් ලක්‍ෂයක් වන සක්වළ උන මැනැව. අද තා මාගේ නුවණ නමැති හස්තයෙන් දහම් නමැති දැල දමා බදාගෙන මා පිට හයා ගනිම් ම ය. දැන් තට සෝවාන් මග අලුකොට නිවන් පුරය පවිම් ම ය. අද පටන් තා මාගේ සස්නෙහි දයාපරයන් කෙරෙහි ඇතුළත් කෙරෙම් ම ය. අද පටන් තාගේ මේ සිටුසැපත මාගේ මේ සසුන් කෙත වපුරුවා හරිම් ම ය යනාදින් සිත සිතා සතර මහ දිවයින එක පැහැර වස්නා ඝන මහා වර්ෂාවක් එක දිවයිනකට වස්වන්නා සේ, සක්වළ ගබ පුරා සිටගත් දිව්‍ය මනුෂ්‍ය සේනාවට දේශනා කරන්නා වූ තමන් වහන්සේගේ සද්ධර්මාමෘත වර්ෂාව එක මේ සිටාණන් කරා මෙහෙයාලා බණ වදාරන්ට පටන්ගත් සේක.

මාගේ ස්වාමිදරුවන් අෂ්ටාඞ්ගසමුපෙත වූ, නානා නය නිපුණ වූ, අනෙකාර්ථ ව්‍යංජන ප්‍රතිවේධ ගම්භීර වූ, ලීලොපෙත වූ, මධුර ස්වරයෙන් ධර්මදේශනා කරත් කරත් නිර්මල වූ කැටපතකින් ප්‍රතිබිම්බයක් පෙනෙන්නා සේ සිටාණන්ට “මෙලෝ මේ ය. පරලෝ මේ ය. දහම් මේ ය. අදහම් මේ ය. මාර්ග මේ ය. අමාර්ග මේ ය. බුදුරුවන් මේ ය. දමුරුවන් මේ ය. සඟුරුවන් මේ ය. තුණුරුවන් මේ ය”යි යනාදීන් විශේෂයෙන් පෙනෙත් පෙනෙත් එකෙණෙහි උපන් බුද්ධාලම්භන ප්‍රීතීන් එම තැන ම ඉඳ උතුම් වූ සෝවාන් ඵලයට පැමිණ “මේ ස්වාමිහුගේ දහම් රස මෙසේ මධුර කල උන්වහන්සේගේ ශ්‍රීමුඛය කලී උතුම් වන්නේම වේ දැයි එ කෙබඳු දෝ හෝ යි සිතා නිගණ්ඨයන් නවත්ව නවත්වා තිරය දෑසින් ඔසවා බලා ස්වාමිදරුවන්ගේ සඳමඬලක් වන් මුව මඬල හා දෙතිස් අසූ ලකුණු හා කසුන් කඳක් වන් බුද්ධ රූපය දැක අමාවළෙක ගැලුනා සේ පස්වනක් ප්‍රීතින් මත්ව “මට මේ සා වැඩෙක් අනිකකුන් නිසා වූයේ නො වෙයි. මාගේ යේලනියන් විශාඛාවන් නිසා ම වී ය” යි මවක කරා දිවන පුතකු සේ පළමුකොට යෙහෙලිනියන් සිටි තැනට ගොස් යෙහෙලිනියන්ගේ තන ය තමන් මුඛයේ ලාගෙන “අද පටන් නුඹ මාගේ යේලිනී කෙනෙක් නො වෙයි, මා වැදූ මෑණියෝ නම් නුඹ ම ය. යෙහෙළිනි මම නුඹගේ පුතනු වෙම් ම ය” යි කියා යෙහෙලිනියන් මවු තනතුරෙහි තබා දෙවනුව බුදුන්ගේ ශ්‍රී පාද මූලයට ගොස් ශ්‍රී පාදය වැඳ හෙව ශ්‍රී පාදය තමන් හිසින් පිස පිස “ස්වාමීනි! මාගේ බුදුරජාණෙනි! මිගාරසිටු නම් වූ නුඹගේ ගැති නම් මම ය. මෙතෙක් දවස් මම නුඹ නො දත්තෙමි නො හැඳින්නෙමි. අද නුඹ ගුණ සකසා දතිමි. අද නුඹගේ දහම් නමැති එළියට බැස මිථ්‍යාදෘෂ්ටි නමැති මහ වේබැද්දෙහි නුගුණ නමැති කටු කර්කශ බව දතිමි. ගැත්තවු නිසා ම බුදු වූහ යි සිතමි. ගැත්තවු නිසා ම දෙවුරම් වෙහෙර පිළිගත්හ යි සිතමි. ගැත්තවු නිසා ම මේ නිවුර වැඩ හුන්හ යි සිතමි. අද පළමුකොට ලොව බලන වේලෙහි ගැත්තවූ ම දැ වදාළහ යි සිතමි. ගැත්තවු නිසා ම අද මේ ගමට වැඩවදාළහ යි සිතමි. අද පටන් මෙ මාගේ සතළිස් කෙළක් පමණ ධනය පිරුණු පැන් කළයක් මුහුණින් නැමුවා සේ කිසි දෙයකුත් නො තබා නුඹගේ සසුන් නැමැති කුඹුරෙහි වපුරෙමි. අද පටන් ගැනිත් සැදෑ ඇත්තන් කෙරෙහි අන්තර්ගත වූ එක්තරා එක් උපාසකයෙක් ම ය”යි යනාදීන් කිය කියා බුදුන් වැඳ නැගී සිට;

සොහං අජ්ජ පජානාමි - යත්‍ථ දින්නං මහප්ඵලං,

අත්‍ථාය වත මෙ භද්දා - සුණිසා ඝරමා‘ගතා යි.

යන මේ ගාථාව කියා යෙහෙලනියන්ට ස්තුති කොට පියා “මාගේ යේලනියන්ගේ මේ මේල පළඳනාව ඉතා බර හෙයින් අලඞ්කාර දවසෙසක මුත් හැම වේලෙහි ම පැලැන්ද නො හැක්ක. හැම වේලෙහි ම පළඳනා පරිද්දෙන් මම ද උන්ට ලඝු වූ පළඳනාවක් කරවමි”යි කියාලා ලක්‍ෂයක් වටනා ඝනමට්ට නම් පළඳනාවක් කරවා බුදුන් ආදි වූ රහතන් පන්සියයක් පවරා ස්ත දවසක් මහ දන් දී සත්වන දා යෙහෙලනියන් සොළෙස් කළයක් සුවඳ පැනින් නාවා දෙවඟනක සේ සරහා ඒ පළඳනාව බුදුන් ආදි පන්සියයක් රහතන් පවරා පැළඳ වූවාහු ය.

එ තැන් පටන් ඒ මිගාරසිටාණන්ගේ නම් මිථ්‍යාදෘෂ්ටි ගතුවන්ට පියවී දොර වී ය. බුදුන් දරුවන්ට අළ දොර වී ය. මෙසේ ඒ විශාඛාවෝ මිථ්‍යාදෘෂ්ටි වූ ඒ සිටුකුලය තමන්ගේ නුවණ බෙලෙන් සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටුවාගෙන ඒ තීර්ථක වූ මයිල්සිටාණන් බුදුන් දක්වා බණ අස්වා සෝවාන් කරවා ඔහු විසින් මවු තනතුරෙහි තබන ලද හෙයින් එ තැන් පටන් මිගාර මාතාවෝය යි කියාත් ප්‍රසිද්ධ වූ බුදුසස්නෙහි ශ්‍රද්ධාවන්ත උපාසිකාවරුන් කෙරෙහි අග්‍ර වූහ. සියලු සඞ්ඝයා වහන්සේට ම මවු තනතුරු ලද්දාහු ය. දවස තුන් වාරයක විහාරයට එළඹෙන්නාහු ය. පෙරවරු භාගයෙහි එනකල වැළඳිය යුතු දෙයක් නොගෙන නො එන්නා හු ය. පස්වරු භාගයෙහි එන කල පානවර්ගාදි පස්වරු වැළඳිය යුතු දෙයක් නො ගෙන නො එන්නාහු ය. සවස් වේලෙහි එන කල මල් සුවඳ පාන් තෙල් බෙහෙත් ආදිය ගෙන්වා ගෙන එන්නාහුය.

විශාඛාවන් ලත් අටවරය

එ කල විශාඛාවෝ ස්ත්‍රීව සිට බුදුන් අතින් එක් දවසක් “ස්වාමීනි! මට වර අටක් දුන මැනැවැ”යි කීහ. ස්වාමිදරුවෝ “විශාඛාව! බුදුහු නම් ස්ත්‍රීන්ට දිය යුතු වර අතික්‍රාන්ත කළහු වේ දැ”යි වදාළ සේක. එ කල විශාඛාවෝ බුදුන් කෙරෙහි තමන් ‘වල්ලභ හෙයින් භය නැති ව “ස්වාමීනි! ස්ත්‍රීන් ඉල්ලුව මනා වරයක් නො ඉල්ලමි. ශාසනයට උපකාර වූ සැදෑ ඇතියන්ට සම්පත්ති දායක වූ උතුම් වූ වර අටක් ඉල්වමි”යි කීහ. බුදුහු ‘කියග, විශාඛාව”යි වදාළ සේක.

මෙ තැන් පටන් මාගේ ජීවිතාන්තය දක්වා නුඹවහන්සේ කරා ආගන්තුක ව යම් පමණක් භික්‍ෂූහු වැඩියාහු වූ නම් “පළමු දා අනික් දොරකට නො ගොසින් විශාඛාවන්ගේ දොරට හැමදෙනාම අද සිඟව”යි වදාරණ වරෙක තව ද: මා දිවි පමණින් පන්සියයක් භික්‍ෂූන්ට නිති දන් දෙනු කැමැත්තෙමි. එසේ වූ වරයෙක. තව ද: මේ බුදුසස්නෙහි ගිලන් වූ යම් කෙනකුන් වහන්සේ ගිලන්පස සිඟා මාගේ දොරට ම යවා වදාරණ වරයෙක. ගිලනුන් බලන්නා වූ යම් කෙනකුන් වහන්සේට ද මාගෙන් ම දන් දෙවාලන වරයෙක තවද: හැම දවස් ම මාගෙන් ම පන්සියයක් භික්‍ෂූන් හා සමඟ කැඳ අවුළුපත් වළඳා වදාරණ වරයෙක. තව ද: වස් අන්තයෙහි හවුරුදු පතා වස්සාවාසික ලාභකොට පන්සියයක් අටපිරිකර පිළිගන්නා වූ වරයෙක. තවද: හැමදා ම බෙහෙත් පසත් බෙහෙත් බඩුත් හැමදෙනා වහන්සේට ම මාගෙන්ම පිළිගන්නා වූ වරයෙක. තව ද: බුදුසස්නෙහි හැමදෙන වහන්සේට ම හවුරුදු පතා කස්පිළිසන් දන්දෙනු කැමැත්තෙමි. එසේ වූ වරයෙක. මෙසේ වූ අට වරයක් මට දුන මැනැවැ”යි ආරාධනා කළහ.

එ කල බුදුහු “සාධු සාධු විශාඛාව”යි තුන් යළක් වදාරා මේ අට වරය ම දුන් සේක. මෙසේ වූ අටවරයක් ලදින් බුදුසස්නෙහි ශ්‍රද්ධාවන්ත ස්ත්‍රීන් කෙරෙහි අග්‍ර ව පින් කළාහු ය.

තව ද: ඒ විශාඛාවන් වැදූ නිරෝගී ම පුත්තු දසදෙනෙක. නිරෝගි උන් වැනි ම දූවරු දසදෙනෙකැ යි මෙසේ දූන්-පුතුන් විසිදෙනෙකු විසි හවුරුද්දක් ඇතුළත ම වැදූහ. එ දරුවෝ විසි දෙන ද එසේ ම විසි විසි දරුවන් වැදූහ. තව ද ඒ මුණුබුරෝ ද විසි විසි දරුවන් වැදූ. මෙසේ ඒ විශාඛාවන්ගේ ම කුසින් වැදූ දරුවෝ ම විස්සෙක, මුණුබුරෝ ම සාරසියයෙක. මී මුණුබුරෝ ම අට දාසෙක. මොහු හැමදෙනා ම නිරෝගීහ. අකාල මරණයකට පැමිණිය වූ එක දරුමුණුබුරු කෙනෙකුත් නැත.

තව ද: එක්සිය විසි ඇවිරිදි වයස් දක්වා ඒ විශාඛාවන් ඉස එක නරකෙන්දකුත් නො නැංගේ ය. දන්ත චලනයෙක් වේවයි ඇඟ රැළි වැළඳීමෙක් වේව යි ජරාවට කාරණයෙක් නොපෙණුනේ ම ය. හැම දවස් ම දිවිදළින් ඔප්නැගූ කනක රූපයන් සෙයින් සොළොස් හැවිරිදි යොවුන් ඇති කුමාරිකාවක ම වැනියහ. මෙතෙක් දරුමුණුබුරන් පිරිවරා විහාරාදියට ඒ විශාඛාවන් නික්මුණු කල නො හඳුනන්නෝ දරුමුණුබුරන් කා කොයි විශාඛාවන් හා හොයි නො දක්නාහුම ය.

තව ද: ඒ විශාඛාවන් ගමන් යන කල දුටුවෝ ගමන් යනකල ම හොබනා දෑ යයි කිය කියා සිටිති. සිටි වේලෙහි සිටිනා රිසියෙයි කියති. උන් වේලෙහි වැද උන් රුව ම රිසියෙයි කියති. හොත් වේලෙහි වැදහොත් ම රිසියෙයි කියති. මෙසේ සතර ඊර්‍ය්‍යා පථයෙහි ම පියකරු වූ රූපශ්‍රී ඇතියහ.

තව ද: ඇතුන් පස්දෙනෙකුගේ බල ඇතියහ. කොසොල් රජ්ජුරුවෝ එ පවත් අසා ස්ත්‍රියකටත් ඇතුන් පස්දෙනකුගේ බල ඇද්දැයි කියා නො ගිවිස එක්දවසෙක අද “ඇගේ බල බලමියි”යි කියාලා දවසෙක පන්සියයක් ස්ත්‍රීන් පිරිවරාගෙන උන් වීථිමධ්‍යයෙන් එන්නා දැක මද නැගි ඇතකු කොහොලින් ඇන කුප්පා ඉදිරියට ලුහුබඳවාලූහ. එ වේලෙහි විශාඛාවෝ ගුගුරා දිවන ඇතු දැක “මේ නුවර මා කෙරෙහි වෛරයක් ඇති කෙනකේ නැත. මේ රාජ වීථියෙහි කිසි කෙනකුත් නැත. රජුගේ සඳල්ලෙත් දොර ඇරලා තිබෙයි. මේ අනික් කාරණයෙක් නො වෙයි. ඒකාන්තයෙන් මාගේ බල බලමියි රජු කළ දෙය ම ය”යි නුවණින් දැන ඒ ස්ත්‍රීන් ඇතු දැක බා දිවපි වේලෙහි තුමූ ඇතකු දුටු සිංහධේනුවක සේ කිසි ම භයක් නැති ව වැද සිට සොඬ කුකුළා කට ලාගෙන පෙණ කඳු ගස ගසා ළඟට අවුත් වැද ගිය ඇතු දැක “මොහු තරවා අල්වා ගතිම් නම් රජුගේ ඇත් මිය යේ නම් නපුරැ”යි සිතා දෑඟිලි හස්සෙහි සොඬ ලාගෙන මඳක් මිරිකාලූහ. එ වේලෙහි මහ අඬුවකින් කෙහෙල්කඳක් මැඩලුවා සේ ඇතුගේ සොඬට මහත් වූ වේදනා විය. එ කෙණෙහි ඇත් දිය සලා ඉලත්ති ලා මරණභයින් හඬ හඬා ආපස්සේ දිව පී ය. ඒ ආශ්චර්‍ය්‍යය දුටු රජ පිරිස සාධුකාර දුන්හ. රජ්ජුරුවෝ ද සමාධි ව විශාඛාවන්ට සතුටු පඬුරු යවුවාහු ය. මෙසේ ඒ විශාඛාවෝ ඇත්බල ඇතියාහ.

තව ද: ඔහු අභිමඞ්ගල සම්මතයහ. සත් කෙළක් පමණ මනුෂ්‍යයන් වසන ඒ සා සැවැත් නුවර සත්ත්‍වයෝ තමන් තමන්ගේ සියලු මඟුලෙහි විශාඛාවන් හා දරුමුණුබුරන් හැමදෙනා ම ගෙන ගොස් කවා පොවා සත්කාර කරන්නාහු ම ය.

පූර්වාරාමය

මෙසේ බුදු සස්නෙහි පැහැද බුදුන්ගෙන් බණ අසන විශාඛා වෝ දවසෙක තමන්ගේ නව කෙළ ලක්‍ෂයක් අගනා මේල පළඳනාව බණ අසා යන වේලෙහි සඳහන් නැතිව ධර්මශාලාවෙහි තබා ගොස් බුදුන් කෙරේ ආදරයෙන් ඒ මේල පළඳනාව බුදුන්ට ම පුදාපියා “ආවාසදාන කරවා දන් දීමෙහි විපාක මහතැ”යි අසා බුදුන්ට විහාරයක් කරවා දන් දෙමි යි සිතා ඒ මේල පළඳනාව රථයෙක තබා විකුණන පිණිස මුළු නුවර ඇවිදුවා මිල දී හැර ගන්නා තරම් අනිත් ස්ත්‍රියක නැතිහෙයින් තුමූ ම නව කෙළ ලක්‍ෂයක් දී හැරගෙන ඒ මිල දී බිමක් ගෙන සැවැත් නුවරට නැගෙන හිරි දිග් භාගයෙහි පූර්වාරාම ය කරවන්නාහු යෙළ දහසක් පා පිහිටුවා දෙමාල් මාලිගාවක් කරවා යටිමාලෙහි පන්සියයක් ගබඩා ය. මතුමාලෙහි පන්සියක් ගබඩා ය යි විසිතුරු වූ දාසක් ගබඩා නිමවා රන් කොත් පළඳවා සැට කළයක් පැන් ගන්නා මහත ඇති ඝනරන්මය පාදෙනි ලවා සැට සැටකළය පැන් ගන්නා ඝනරන්මය වූ මහ දිය කල සැටක් ලවා තෙසු රන් කොතලා රන්කෙණ්ඩිකා රන් වළන් රිදී වළන් සාංඝික කොට ම ලවා “මැටියෙන් කළ වළඳක් මාගේ විහාර සීමාවට ගෙන වැද්ද නො හැක්කැ”යි නියෝග කොට මේ සියල්ලට තමන්ගෙන් ම රකවල් ලවා පවුරු දොරටු පැන් පොකුණු උයන් මණ්ඩප ආදි සියලු කර්මාන්ත ම නවමසෙකින් නිමවා අසූ මහසව්වන් ඇතුළු වූ සතළිස් දහස් පන්සිය ඒකාසූවක් බුදුපාමොක් සඟපිරිස් පවරා මුළුනුවර අළලා කරන ලද මහා පූජාවෙන් බුදුන් වඩා ගෙනවුත් දාසක් ගබඩා වෙන වෙන ම දිව්‍යවිමාන සේ අලංකෘත කොට සාදා දාසක් යහන් දාසක් බුද්ධාසන පනවා දාසක් ආසන මුදුනෙහි රුවන් කර්මාන්තයෙන් දිලියෙන දාසක් සේසත් නංවා ඇතුළු මළුව කෙළවර දක්වා බුමුතුරුණින් බිම වසා වෙන වෙන ම ගබඩාවල් බුදුන්ට සුදුසු කොට බුදුන් අත පැන් වත්කොට ඒ පූර්වාරාමය පිළිගැන්වූවාහු ම ය.

එ කල බුදුරජාණන් වහන්සේ විශාඛාවන්ගේ පින් ලෝභ ය ඉතා මහත් සේ දැන විහාර දාන ය උතුම් සේ දැක ඇගේ බුද්ධාලම්බන ප්‍රීතිය අද වඩවමි යි සිතා ඒ මාළිගාව පිළිගෙන මැද ගබඩාවෙහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ “මා සේ ම දහසක් බුදුහු දහසක් ගබඩාවල හිඳිත්ව”යි අධිෂ්ඨාන කොට වදාළසේක. එකෙණෙහි දහසක් ගෙවල නිර්මිත බුදුහු පෙනී සවණක් රසින් දිලිහි දිලිහී වැඩඋන් සේක. එ කල විශාඛාවෝ බුදුහු කවර ගෙයි වැඩහුන් සේක් දෝ හෝ යි දහසක් ගබඩාවල දහසක් ගෞතම බුදුන් දැක මහත් වූ ප්‍රීතීන් පිනා මත් ව උද්දාන ගායනා පතුරුවා ඇම ගෙවල ම බුදුන් හෙයින් එක තෙනකත් සිටගත නොහී, නැවත මහාපාය දොරකඩ සිටියාහු ය.

එ වේලෙහි විශාඛාවන් යෙහිළි වූ එක් කුල ස්ත්‍රියක් මේ පිනෙහි මම ත් සමාදන් වෙමි යි සිතා දාසක් අගනා පළසක්ක ගෙන විශාඛාවන් පෙරට ව සිට “ස්වාමීනි! නුඹගේ ගෙයි මාගේ පිළිය බුමුතුරුණු කොට අතුරනු කැමැත්තෙමි. අවසරයක් දුන මැනැවැ”යි කිව. විශාඛාවෝ පිළිය බලා “මේ පිළිය නපුරැ යි කීම් නම් මෑ සිත කලකිරෙ”යි සිතා තමන් මහනුවණැ‘ති හෙයින් ඒ පිළිය නපුරු නියාව ඈට ම හඟවමි යි “බුහුනනියනි! තෙපි ම මේ පායෙහි දහසක් ගබඩා බලා තෙල පිළියට අඩු පිළියක් දුටු වු නම් ඒ පිළිය ඉවත් කොට තොපගේ මේ පිළිය අතුට පින්පුරා ගනුව”යි කීහ. ඒ කුල ස්ත්‍රී දාසක් ගෙවල ඇවිද අනගි බුමුතුරුණු බලා තමාගේ පිළිය අඩු සේ දැක නැවත අවුදින් “මේ සා පිනෙහි එක්විය නුහුනුයෙමි”යි මහ හඬින් හඬ හඬා සිටියා ය.

එ වේලෙහි අප අනඳ මහ තෙරුන් වහන්සේ මෑ හඬන්නා දැක “මේ සා පූජාවෙහි කුමට හඬා ද, නැගනියනි!”යි විචාරා අඬන කාරණ අසා “තොපගේ පළස අතුරණ තෙනක් මම දනිමි”යි වදාරා විශාඛාවන් නො සැලකූ තෙනක් දැක සඳකඩ පහණ හා පාදෙනිය අතුරෙහි පාපිස්නි කොට ලවා වදාළ සේක. මෙසේ මාහැඟි වූ පූර්වාරාම පූජාව සාරමසක් මුළුල්ලෙහි කළාහු ය. විහාර බිම් ගත්තා වූ නව කෙළක් ධන ය, විහාර කර්මාන්තයට නව කෙළක් ධනය ය, දාන පූජාවට නව කෙළක් ධන ය යි මෙසේ සත්විසි කෙළක් ධන ඒ එක පූර්වාරාම විහාරයට ම තුනුරුවන් උදෙසා ම පූජා කළාහු ය.

මේ විශාඛාවෝ මෙසේ වූ ආශ්චර්‍ය්‍ය කුශලයක් පෙර කෙසේ වූ පිණක් කොට ලද්දාහු ද? යත්;

ගිය දවස අටපිරිකර දුන් පිණින් මේල පළඳනාව ලදහ. කාශ්‍යප බුදුන් සමයෙහි කිකී නම් රජ්ජුරුවන් කුඩා දූ සංඝදාසී ව පන්සිල් රක්‍ෂා කළා වූ පිනින් පඤ්චකල්‍යාණයෙන් යුක්ත වූ උතුම් රූපශ්‍රී ලදහ. පෙර බොරුවක් නොකී කුශලයෙන් සම වූ දූන් පුතුන් ලදහ. බෙහෙත් පස ගිලනුන්ට දන් දුන්නා වූ කුශලයෙන් තුමූ ද නිරෝගීව නිරෝගී වූ දරුමුණුබරන් ලදහ. බුදුන් සඟුන්ට පෙර කිරිපිඬු දන් දුන් කුශලයෙන් ස්ත්‍රීව සිට ඇතුන් පස්දෙනකුට බල ඇතිවූහ. තව ද ගිය දවස භික්‍ෂූන් පවරා ස්වහස්තයෙන් වළඳවන කල වළඳා අන්තයෙහි එක බත් ආලෝපයක් වළඳවාලූ කුශලයෙන් දායාද සරක් දෙන දවස් එක්ලක්‍ෂ විසිදහසක් ගවයෝ ගාල් කඳ පැන වැගිර ගියහ. ඒ මේ කුශලයෙන් උනු නො වන සම්පත් ලද්දාහු ය. පියුමතුරා බුදුන් සමයෙහි කළා වූ ප්‍රාර්ථනාව හේතුකොට ගෙන කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි දිව්‍යලෝක මනුෂ්‍යලෝක සම්පත් සුව විඳ දැන් අප මහා ගෞතම බුදුන් සමයෙහි සත් ඇවිරිද්දෙහි බණ අසා සෝවාන් ව බුදුසස්නෙහි සැදැහැ ඇති ස්ත්‍රීන් කෙරෙහි අග්‍ර වූ තනතුරු ලදින් දානාදි පින් රැස්කොට සංසාර සාගරයෙන් ගොඩ නැංගාහු ය යි දතයුතු.

මෙසේ තමන් වහන්සේගේ සස්නෙහි සැදෑ ඇති ස්ත්‍රීන් කෙරෙහි අග්‍ර වූ තනතුරු ලදින් විශාඛා මහා උපාසිකාවන් සත් විසි කෙළක් ධනය වියදම් කොට පූර්වාරාම ය කරවා පිළිගන්වා, එදා පටන් සාරමසක් මුළුල්ලෙහි දවස් පතා කරන ලද එක්සිය විසි මහ පූජාවක් ලත් හෙයිනුත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං යි.

මේ පූජාවලියෙහි අප බුදුන් විශාඛා මහා උපාසිකාවන්ගෙන් ලද

පූර්වාරාම පූජා කථා නම් වූ අටළොස් වන පරිච්ඡේදය නිමි.

19. ප්‍රතිපත්ති පූජා කථා

රාහු අසුරිඳු

තව ද: අප බුදුන් එම පූර්වාරාමයෙහි දී රාහු අසුරේන්‍ද්‍ර සුමන සාමණේරාදීන්ගෙන් ලද නමස්කාර දහර භික්‍ෂු ප්‍රතිපත්ති පූජා කථා නම් කවර? යත්; මේ එහි පිළිවෙල කථාව ය:-

ඒ රාහු අසුරිඳු නම් මෙර පත්ලෙහි දසදහසක් යොදුන් අසුර භවනයෙහි වෙසෙයි. එ තෙමේ සාරදහස් අටසියයක් යොදුන් උස ඇත්තේ ය. පත්ලෙහි පටන් දනසන්ධියට එක් දහස් දෙසියයක් යොදුන. දන පටන් නාභියට එක්දහස් දෙසියක් යොදුන් උස ය. නාභියෙහි පටන් ගලසරට එක්දාස්දෙසියයක් යොදුන් උස ය. ගලසර පටන් ඉස් මුදුනට එක්දහස් දෙසියයක් යොදුන් උස ය. දකුණු උරවට පටන් වම් උරවටට එක්දහස් දෙසියයක් යොදුන. ඉසවට නවසියයක් යොදුන් පමණ ය. නළල තුන්සියයක් යොදුන් පමණ ය. බැමතුර පනස් යොදුන් පමණ ය. මුඛය දෙසියයක් යොදුන් පමණ ය. ගැඹුර තුන්සියයක් යොදුන් පමණ ය. අතුල් පතුල් පළල දෙසියයක් යොදුන් පමණ ය. ඇඟිලි පුරුක් පනස් පනස් යොදුන් පමණ ය. එකි එකි පියවර සත් සය පනස් යොදුන් දිග ය. රියන එක් දහස් දෙසියයක් යොදුන් දිගය. වියත සසියයක් යොදුන් දිග ය. එක ඇඟිල්ලෙන් හිරිමඬල සඳමඬල වසාගනි. මෙසේ වූ උස මහත ඇති හෙයින් “මෙ තුන්ලොව ම මට වඩා උස් මහත් කෙනෙක් නැතැ”යි අභිමාන ව බුදුන් කරා නො එළඹෙයි.

එක් කලෙක බණ අසා ගිය දෙවියෝ බුදුන්ගේ මහිම මෝ හට කියා තොයිත් බුදුන් කරා ගොස් බණ අසව යි කීහ. එ කල රාහු අසුරිඳු “තොපගේ බුදුහු කෙසේ වූ කෙනෙක් දැ”යි විචාළේ ය. අපගේ බුදුහු දොළොස් රියන් උස ඇති සේක. සරියන් බ්‍යාමප්‍රභා මඬුලු ඇති සේක. මෙසේ අටළොස්රියන් බුද්ධකායක් ඇතිසේක් වේදැයි කීහ. එ බසට රාහු අසුරිඳු සිනාසී “දොළොස් යොදුන් උස ඇති මහා බ්‍රහ්මයා පවා මාගේ දන අත්ගාපියන තරම් උස නැත්තේ ය. සදෙව් ලොව තුන්ගවු උස දෙවියෝ මාගේ අංගුලි පර්වතයක් පමණ උස නැතියහ. තොපගේ දොළොස් රියන් උස ඇති බුදුන් කරා ගොස් උන් කෙසේ වඳිම් දැ”යි කී ය. එ වේලෙහි දෙවියෝ “අසුර ය! තා සේ වූ අසුරයෝ සියෙක් දහසෙකුත් උනුන් පිට සිට බලා ත් අපගේ බුදුන්ගේ අනවලෝ මුදුන් දැක්ක නො හෙති”යි යනාදීන් බුදුගුණ කීහ. රාහු නම් අසුරිඳු එ බසට කිපී “මහණ භවත් ගෞතමයන් හා උස මහතට වාද කෙරෙමි”යි වාසි කියා බුදුන් කරා ආය.

එ දවස් මාගේ ස්වාමි දරුවෝ අරුණෝද්ගමන වේලෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගී ලොවට නුවණ නමැති දැල දමා වදාරා මේ රාහු අසුරිඳු එදා දැල බැඳෙන සේ දැක ඔහු උදෙසා බොහෝ සත්ත්‍වයන්ට අධිගමය වෙයි දැන අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්‍ද ය! රාහු නම් අසුරිඳු උස මහතට මා හා වාදයට එමින් සිටියේ ය. සත්ත්‍වයන් වැදහොත් කල සියලු ඉරියව්වෙන් කුඩාව පෙනෙයි. එසේ හෙයින් ඔහු පෙරට වැදහෝනා කැමැත්තෙමි තෙලෙ උස් වූ යහනත් ඔසවා පියා බිම බුද්ධාසනයක් පනවාලව”යි වදාළ සේක. අනඳ මහතෙරුන් වහන්සේ එ කෙණෙහි එ යහන ඔසවා බුදුන්ට භූමිගත වූ යහනක් අතුළ සේක. ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ දකුණුදිගට සිරස ලා, පෑල දිගට පිට ලා, පූර්වදිගට ශ්‍රී මුඛය ලා, උතුරු දිගට දෙපය ලා, ශ්‍රීපාද දෙක මතු මතුයෙහි තබාගෙන දක්‍ෂිණ ශ්‍රී හස්තය හිසට ලා ගෙන වාම හස්තය ශ්‍රී ශරීරය මතුයෙහි ප්‍රවාල සාගරයෙහි ගමන් ගත් රන්වන් වූ දිව්‍ය නාගරාජයකු සේ සුරක්ත වූ සිවුර මතුයෙහි තබාගෙන මෙසේ සිංහශෙය්‍යාවෙන් සැතපී වැදහොත් සේක.

එ වේලෙහි රාහු අසුරිඳු බුදුන්ගේ ශ්‍රීපාදමූලයට අවුදින් සිට සිරිපතුල් දෙක දැක සක්ලකුණු දෙකින් හා දෙදහසක් දැවීපෙලින් හා දෙසිය සොළොස් මඟුල්ලකුණෙන් විසිතුරු වූ, එ සිරිපතුල් දෙකින් මහ පවුරක් අස සිටිනා කුඩා කොල්ලකු සේ සැඟවී සිට, “මේ මහණ භවත් ගෞතමයන් කුඩා ය යි කියති. දැන් උන්ගේ පතුලේ කෙළවරෙක් මට නො පෙනෙයි. මේ කෙසේ වූ විස්මයෙක් දෝ හෝ”යි සිත සිතා බල බලා සිටියේ ය. එ වේලෙහි ස්වාමි දරුවෝ මහ මේ ගබක් බැනනැංගා සේ බ්‍රහ්මනාදයෙන් “රාහු අසුරිඳු එසෙවී එසෙවි කුමක් බල යි දැ”යි වදාළ සේක. ඒ ශබ්දය අසා ‘මහණ භවත් ගෞතමයෙනි! තොපගේ පත්ලෙහි කෙළවරක් බලමි”යි කී ය. බුදුහු වදාරණ සේක් “රාහු අසුරිඳ! තා මෙ තැන් පටන් භවාග්‍රය දක්වා බල ත් මාගේ පත්ලෙහි කෙළවරෙක් තට නො පෙනෙන්නේ ම ය”යි වදාළ සේක.

රාහු අසුරිඳු බුදුන්ගේ ශබ්දය ඇසී කඩතුරාවක් මුවාවෙහි සිට කථා කරන්නකු සේ බුදුන්ගේ ශ්‍රි පාදයෙන් මුවාව ගොස් ශ්‍රී මුඛය තවම දැක්ක නො හේ ම ය. එසේ හෙයින් රාහු අසුරිඳු “මෙ බඳු වූ සිරි පතුල් දෙකක් හා මෙ බඳු වූ මධුරනාද ඇති භවත් ගෞතමයන්ගේ ශ්‍රී මුඛය කලී ඉතා හොබනේ ය යි මුහුණ බලමි”යි සිතාලා සාරදහස් අටසියක් යොදුන් පමණ ඒ සා මහත් උස ඇති ඒ අසුර රාජයා අහස් මුදුනෙහි තුබූ සඳක් බලන කුඩා කොල්ලකු සේ අක්පත්ලෙන් එසෙවි එසෙවි සැරහි සැරහී කර නඟා බලනුයේ බුදුන්ගේ ශ්‍රී මුඛය දැක්ක නොහී එ වේලෙහි උස මහතිමි යි යන අභිමානයෙක් ඇත්නම් මහමෙර ගල ළඟට පැමිණි උදුන් කැටක් සේ අභිමාන ශූන්‍ය ව “ස්වාමීනි! බුදුරජාණෙනි! නුඹගේ මහිම නොදැන නුඹ ම උස්මහත් බව නො දැන නුඹම ලෝකස්වාමි යයි නොදැන මෙතෙක් කල් නුඹ වැනි උතුමකු කරා නො ආයෙමි. අද පටන් නුඹගේ ගැත්තෙමි. නුඹගේ ම පා වඳිමි. නුඹගේ ම සරණයෙමි. ගැති ශ්‍රී මුඛය දැක පව් ගෙවා ගන්නා කැමැති ය”යි ආරාධනා කෙළේ ය. එ වේලෙහි ස්වාමිදරුවෝ මහ මේගබක් පලා සඳමඬලක් පෑවා සේ තමන් වහන්සේගේ ශ්‍රි මුඛය ඕහට දක්වාලා බණ වදාළසේක. එ වේලෙහි සුවාසූ දහසක් දෙවියෝ අමාමහ නිවන් දුටහ. අසුරයන් හා පරනිර්මිත වශවර්තීන් අච්ඡන්‍දික-අභව්‍ය වන බැවින් ඔවුන් අධිගමයට නො පැමිණෙන හෙයින් ඒ රාහු අසුරිඳු මාර්ගඵලයක් නො ලදත් ශරණ ශීලයෙහි පිහිටා සද්ධර්ම ප්‍රීතින් මත් ව තමාගේ සසියයක් යොදුන් දිග ඇති අතුල් දෙක ඉස්මුදුනෙහි තබාගෙන බුදුන්ට තුන්යලක් නමස්කාර පූජා කොට තමාගේ භවනයට ම ගියේ ය.

මෙසේ උසමහතට අභිමාන ගත් රාහු අසුරෙන්‍ද්‍රයන් පවා තමන් වහන්සේගේ බුද්ධමහිමයෙන් ම අභිමාන ශූන්‍යකොට ඔවුන් විසින් කරන ලද මෙසේ වූ නමස්කාර පූජා ලැබීමට සුදුසු හෙයිනුත් දේවා‘තිදේව වූ, ශක්‍රා‘තිශක්‍ර වූ, බ්‍රහ්මා‘තිබ්‍රහ්ම වූ මාගේ ස්වාමිදරුවෝ අර්හත් නම් වන සේක.

තව ද: මෙ ම පූර්වාරාමයෙහි දි සත් හැවිරිදි සුමන සාමණේරයන්ගෙන් ලද ප්‍රතිපත්ති පූජා නම් කවර? යත්; මේ එහි පිළිවෙල කථාව ය:

අනුරුද්ධ කුමාරයා

කපිල වස්තු පුරයෙහි ශුද්ධෝදන රජ්ජුරුවන් මල් අමිතෝදන නම් ශාක්‍යරජ්ජුරුවන්ගේ අගමෙහෙසින් බිසෝ වූ සඳ නම් දේවීන් වැදූ දරුවෝ මහානාමය අනුරුද්ධය’යි පුතුන් දෙදෙනකු හා රෝහිණී නම් දියණි කෙනකුන් හා තුන්දෙනෙක් වූහ. එයින් අනුරුද්ධ නම් කුමාරයෝ ඉතා මහත් වූ පින් ඇති කෙනෙක. ඔවුන් සත් අට හැවිරිදි කල රජකුමරුවන් තුන්දෙනකු හා සමඟ පැරදි කෙනෙක් “කැවුම් තලි, දෙම්හ”යි ගිවිස ගුළ කෙළි කෙළිනාහු ය. එ කල අනුරුද්ධ කුමාරයෝ පැරද ගියහ. සෙසු රජකුමරුවෝ “කැවුම්තලියක් දුනොත් මුත් නො කෙළුම්හ”යි කීහ.

එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ තමන් පැරදි බව මෑණියන්ට කියා යවා කැවුම් තලියක් ගෙන්වා දී, මෙසේ ම තුන් වාරයෙක පැරද තුන් වාරයක් කැවුම් ගෙන්වා දී, සතරවන වාරයෙහි ත් පැරද “කැවුම් තලියක් එවන්නේ ය”යි මෑණියන්ට කියා යවූහ. බිසොවු තුන්වාරයෙක කැවුම් යවා කුසී ව “දරුවන් පැරදි පැරදි සේ මම කැවුම් තලි යවාගත නොහෙමි. ඉතිකින් ගෙයි කැවුම් නැතැ”යි කියා යවුමාහු ය. අනුරුද්ධ කුමාරයෝ කැවුම් නැතැ යි කියා යවු බස් අසා තමන් උපන් තැන් පටන් නැතැ යි යන බසක් නො ඇසූ විරූ හෙයින් නැතැ යි යන බසෙහි අර්ථ නො දැන “නැති පූ ය යි යන පූ ජාතියෙක් ඇතිවනැ”යි සිතා ‘එ නැති පූ වහා එවන්නේය”යි කියා යවුවාහු ය.

මෑණියෝ එ බස් අසා තමන් අතුරෙහි සිනාසී “මාගේ පුතණුවෝ තමන් ශ්‍රීමත් කුලෙහි උපන් හෙයිනුත් මහපින් ඇති හෙයිනුත් මහපින් ඇති හෙයිනුත් නැතැ යි යන බසෙහි අර්ථ නො දනිති. මපුතණුවන් මතු රාජ්‍යය කරන කල නැතැ යි යන බසක් නො කියා රාජ්‍යය කළ නො හැක්කේ ම වේ ද, ම පුතණුවන් නැතැ යි යන බසෙහි අර්ථය උගන්වමි”යි සිතාලා රන්තලියක් ශුද්ධ කරවා පියා අනික් රන්තලියකින් වසාලා “තෙල නැති පූ මපුතණුවන්ට දෙව”යි කියා නිකම් තලිය යවුවාහු ය. එ කෙණෙහි එ නුවර අරක් ගත් දේවතාවා “මාගේ අනුරුද්ධ කුමාරයෝ මවු කුසින් උපන් දා පටන් නැතැ යි යන බසෙහි අර්ථ නො දත්තාහු ය. අද එ බසෙහි අර්ථ දැන පූ නම් උන්ගේ පින් බලයෙන් මාගේ හිස සත්කඩක් ව පැළී යෙයි” කියා මරණභයින් වෙවුලා එ ගෙන යන්නා වූ තලියෙහි දිව්‍ය වූ සුවඳ කැවුම් මවාලී ය. එ වේලෙහි ගෙන ගොස් තලිය අනුරුද්ධ කුමාරයන් ඉදිරියෙහි තබාලා ගෙන ගිය පුරුෂයා අක් කොළින් මඳක් සිනාසී “ස්වාමීනි! තෙල නැති පූ කැව මැනැවැ”යි කියාලා මත්තෙහි තුබූ රන්තලිය ඔසවා පීය. එ කෙණෙහි ඒ දිව්‍ය කැවුමෙහි සුවඳ ඒ සා මුළු නුවර මුළුල්ලෙහි හමා බස්නට පටන්ගත. එයින් එක කැවුමක් හැරගෙන දිව අග තබාලූ වේලෙි අනුරුද්ධ කුමාරයන්ගේ සකල ශරීරය පිනවාගෙන සත්දවසක් නහර රසයෙන් පුරා සිටගත. එ කැවුම් තුමූ ත් කාලා සෙස්සවුන්ට ත් බෙදා දීලා කෙළනා කෙළි තබා පියා සතුටු සතුටු ව රජගෙට පලා ගොස් මෑණියන් ඔර පිට වැඩහිඳ දෑතින් කර වැළඳගෙන මෑණියන්ගේ මුහුණ හා දෙතන සනා පියා “මෑණියන් වහන්ස! මෙතෙක් දා නුඹ මට ස්නේහ නැත්තේ ඇයි ද, අද මට ස්නේහ ඇතිව ගියෙත් නැ”යි විචාළහ.

එ වේලෙහි මෑණියෝ පුතණුවන් කෙරෙහි ප්‍රේමයෙන් සතුටු කඳුළු ගෙන පියා “පුතණුවෙනි! කුමක් කියන්නෙහි ද? මාගේ ඇස් දෙකත් මාගේ හදවතත් නුඹත් මෙ සතර ම මට සම ම ය. ඒ ඇස් දෙකටත් හදවතටත් නුඹ ම මට ප්‍රිය දෑ ම ය”යි කීහ. අනුරුද්ධ කුමාරයෝ කියන්නාහු “එසේ නුඹවහන්සේ මට ස්නේහ ඇතිකළ මෙ තෙක් දවස් මෙ බඳු වූ රස ඇති නැතිපූ මට පිස නුදුන්නෙ නැ”යි කීහ. බිසොවු තලිය ගෙනගිය පුරුෂයා අතින් විචාරා මෙ පවත් දැන මාගේ පුතණුවන්ගේ පින්බලයෙන් දිව කැවුම් දෙවියෝ මවා දුන්හ යි දැන ඉතා විස්මයට පැමිණියහ. එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ “මෑණියන් වහන්ස! මා කෙරෙහි සනා ඇතිසේක් වී නම් අද පටන් ගෙන සෙසු කැවුමක් නොකම් ම ය. නැතිපූ ම මට පිස එවන්නේ ය”යි කියලා කෙළිනට දිව පීහ. එදා පටන් කැවුම් කමි යි කියා පුතණුවන් එවාලූ කල මෑණියෝ පෙර සේ ම රන්තලියක් සෝදා, රන්තලියකින් වසා යව යවාලති, පෙර සේ ම දේවතාවෝ දිව්‍ය වූ කැවුම් මව මවාලති. අනුරුද්ධ කුමාරයෝ සෙසු කැවුමක් නො කා දෙවියන් මැවූ කැවුම් ම කා නැතැ යි යන බසෙහි අර්ථ නො දැන ගිහිගෙයි වැඩුනාහු ය. මේ කෙසේ වූ පින් බලයෙක් ද? යත්;

පෙර මේ අනුරුද්ධ කුමාරයෝ එක් ජාතියෙක දිළිඳු වූ එක් කුලයක ඉපැද අසුන්ට තණ දා තණ කත් ඇද ජීවත් වෙති. එ සමයෙහි උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේ දැක තමන් බැලමෙහෙ කොට ලත් බත් කොට්ඨාසය උන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්වාලා “මෙ පිණින් මතු මෙසේ වූ දිළිඳු කුලයක නූපදිම්ව යි, උතුම් වූ රජකුලෙහි උපදිම්ව යි, එසේ ඉපැදත් නැතැ යි යන බසෙහි අර්ථ නො දනිම්ව”යි කියා ප්‍රාර්ථනා කළාහු ය. එ පින් බලයෙන් මෙ සමයෙහි ශාක්‍ය කුලයෙහි ඉපැද නැතැ යි යන බසෙහි අර්ථ නො දැන දිව්‍ය වූ කැවුම් කා ම වැඩුනාහු ය යි දතයුතු.

තව ද: මේ අනුරුද්ධ කුමාරයෝය, භද්දිය කුමාරයෝ ය, කිම්බිල කුමාරයෝය යන මේ රජකුමරුවෝ තුන්දෙන පසළොස් සොළොස් හැවිරිදි අවස්ථාවෙහි ඔවුනොවුන් හා සමග කෙළ කෙළ හිඳ “බත් උපදින්නේ කොයින්දැ”යි සැක කළහ. එයින් කිම්බිල කුමාරයෝ එක් දවසෙක කෙළ ගෙන යන්නාහු බඩසලින් වී බානා දැක ඒ සලකුණෙන් “බත් උපදින්නේ බඩසලිනැ”යි කීහ. භද්දිය කුමාරයෝ දවසෙක සැළියෙන් බත් රන් තලියේ ලන්නා දැක එ සලකුණෙන් “බත් උපදින්නේ බඩසලින් නො වෙයි. සැළියෙනැ”යි කීහ. අනුරුද්ධ කුමාරයෝ කොටුවෙන් වී බානා ත් නුදුටු විරූහ. සැළියෙන් බත් ගන්නා ත් නුදුටු විරූහ. ඉදිරියෙහි කන්නට තබාලූ බත්ම දුටු විරූහ. එසේ හෙයින් “තොප දෙන්නා ම කියන්නෝ නො දැන ය. බත් උපදිනා තැන් මම දනිමි. වඩුරියන් උස රන් කැකුළු ඇති මහ රන් තලියෙකින් බත් උපදින්නේ”ය යි කීහ. මෙසේ එම පින් බලයෙන් බත් උපදිනා තැනුත් නො දැන ගිහිගෙයි සුඛිත ව වාසය කෙරෙති.

එකල අප බුදුන් සමීපයෙහි කුලයෙකින් එක්දරු කෙනකුන් බැගින් මහණ කරවන සමයෙහි මහානාම නම් ශාක්‍යයෝ තමන් මලනුවන් මෙ කී අනුරුද්ධ කුමාරයන් ළඟට කැඳවාලා “මලණ්ඩ! බුදුන් කරා ගොස් අප දෙබෑයන් අතුරෙන් එක් කෙනකුන් මහණ වුව මැනව. මම මහණ වෙම් ද? තෙපි මහණ වවු දැ”යි විචාළහ. එ බසට අනුරුද්ධ කුමාරයෝ කියන්නාහු “බෑණන් වහන්ස! බුදුන් කෙරේ මහණ වූ කල එක් වේලේ කෑව මනාල. එසේ වූ බත ත් දොර දොර සිඟා ඇවිදලද මනාල. බඩ සා ය යි කිය නො හැකිල. ඇඹුල් ලුණු බෝ ය, මඳ ය යි කිය නො හැකිල. හුණු කැමැති සිහිල් ලැබේ ල. සිහිල් කැමැති හුණු ලැබේල. දිවිහිමියෙන් එකලාව ම හොත මනා ල. රුක්මුල් සුසාන භූමිවල භාවනා කොට ඇවිද්ද මනා ල. එසේ වූ දුක් මම විඳගත නො හෙමි”යි කීහ. එ වේලෙහි මහානාමයෝ සිතන්නාහු “මාගේ මලනුවෝ තමන් සියුමැළි හෙයින් මහණ වන්ට මැලියාහු ය. මම මහණවීම් නම් ශාක්‍යකුලයට රක්‍ෂාව නැත. මාගේ මලනුවන් මහණ වුව මැනැව, මහණ වෙමි යි උන් ලවා ම උපදෙසකින් කියවා ගනිමි”යි සිතාලා “එසේ වී නම් මලණ්ඩ! මම ගොස් බුදුන් කෙරේ මහණ වෙමි. තෙපි ගිහිගෙයි වසා නම් උපයා කන ලෙස් මා අතින් ඉගෙන ගනුව. කර්මාන්ත නො දන්නවුන්ට ගිහිගෙයි වාසය බැරිය”යි කීහ.

එ බසට අනුරුද්ධ කුමාරයෝ “උපයා කෑම් නම් කර්මාන්ත නම් කෙසේ වූ දෙයක් දැ”යි විචාළහ. බත් ඉපදවීම් ය යි බෑයෝ කිහ. බත් උපදින්නේ රන් තලියෙන් නොවේ දැ යි කීහ. මලණ්ඩ! රන්තලියෙන් නො වෙයි. බත් උපදින්නේ නම් කුඹුරෙනැ යි, කීහ. කුඹුරෙන් කෙසේ උපදී දැ යි විචාළහ.

එ වේලෙහි මහානාමයෝ මලණුවන්ට ගිහිගෙයි කරන අනුශාසනා වශයෙන් ආදීනව දක්වන්නාහු “මලණ්ඩ! බත් උපදිනා ලෙස් මා අතින් අසව. සී සෑම් නම් සුළං බදන්නා සේ ඉතා උගහට දෙයෙක, වියදඬෙක, පිට වකෙක, බඩ වකෙක, නිමුනෙක, කෙවිල්ලෙක, නඟුලෙක, අව කැටෙක, සී වැලෙක, පෙර ගිලියෙක. පසුගිලියෙක, වියමෑයෙක, සීරෑණ දෙකක, අමුදු බානෙක, කැවිටෙක, ගොන් ගෙයෙක, ගොවියෙකැයි යන මේ අටළොස් දෙනාගේ එක් වීමෙන් යන්නා වූ ගමන සීසෑම් නම් වෙයි. මෙසේ සී සානා ගොවියක්හු විසින් පළමුව පලාගොස් කුඹුරෙහි වන අත් ගසා ඇළ මං පාදාගෙන දෙවනුව ශුභ වූ නකතකින් ගේ වඩා බිම් නගා දෙසී තුන්සී සා මියට කපා කැට තලා පෝරා ගා බිජුවට වඩා විධි වූ පරිද්දෙන් කුඹුරෙහි වපුට ගත මැනැව. ඒ වපුළා වූ කුඹුරෙහි සතා සතුන් සතියක් රැක්ක මැනැව. වැට බැඳ ඉස්නන් නමා ඒ ගොයම් නිලන අවස්ථාවෙහි කුඹුරුමැද රකවල් පැලක් තබාගෙන මැසි දඬක් ලා ගෙන ගෙයි දී කන බතෙක රස නො දැන ඇඳෙක පිටක් නො තබා රාත්‍රීන්‍දිවාභාගයෙහි එ මැසි දඬේ වැදහෙව රාත්‍රින්‍දිවාභාගයෙහි එක් දවසෙකත් නින්දේ නින්දක් නිඳා නො පියා ගෙරින් මීවුන් ඌරන් මුවන් ආදි වූ සතා සතුන් සාරමසක් රැක්ක මැනැව. කරලක් නැඟූ තෙන පටන් ගෙන පියන්වා ආදි වූ නොඑක් රෝගයට කෙම් පන්කම් සේ නැතිව කළ මැනැව. දවසින් දවසට කුඹුර සිසාරා අතු තබාලුව මැනැව. පන් ඇද්ද මැනැව. මෙසේ දුක් ගෙන ගොයම් රකිනා කල සීනටි කුඹුරෙක් වී නම් තුන්සාරමසක් රක්ක මැනැව. මාවී කුඹුරෙක් වී නම් සමසක් සත්මසක් රක්ක මැනැව. මේ දෑතුරෙහි ඇළ අමුණු පුවටා ආදි වූ බොහෝ කර්මාන්ත අත්කම සේ නැති ව කළ මැනැව. පැසෙන මස මුළුල්ලෙහි බස බසරළ වන තුරු හඞ්ග හඞ්ගා කුඹුරෙහි ඒ මුල්ලෙන් ඒ මුල්ලට දිව දිව කම් සේ නැතිව කුරුලු-කොබෝ-ගිරා ආදි වූ වී කන සතුන් බිණුම මැනැව. ගොයම් පැසුණු කල දා වැඩ අඳ වී නම් අඳයෙන් එකක් දුන මැනැව. තුනිනෙකවි නම් තුනිනෙ‘කක් දුන මැනැව. බලාපු වී නම් හැම වී ම වී හිමියන්ට දුන මැනැව.

මෙසේ එ වී ලත් කල වැළසන ය පැල්දොර ය බොල්පස ලාස ය, කටුමානතු ය කඳුකඩ ය යනාදි ව්‍යවහාර නො වරදවා දුන මැනැව. තව ද: රදවුන්-බෙරවායන්-මෙහෙකරුවන්ට දුන මහා කුලී නො වරදවා දුන මැනව. සිඟන්නවුන්ට දුන මැනව. ත්‍යාග ය යි කියා දෙති. පෙර කෑ නය යි කියා දෙති. පෙර කෑ අත පැන් දියයි කියා දෙති. මෙසේ මෙසේ නො එක් ප්‍රකාරයෙන් එක කුඹුරෙහි වී වියදම් කොට ඉතිරි දෙයක් ගෙනවුත් කොටුවෙක පටවා ගෙන බිජුවට ය යි එක් භාගයක් තබාගත මැනව. ඇසා ය යි එක් භාගයක් වෙන් කොට තබාගත මැනැව, බිජුවට භාගය නො කා ඇසා භාගය කෑව මැනැව. එසේ කන කල පමණ නො දැන නො කා අදට මෙ තෙක් ගත මැනැව. සෙටට මෙතෙක් ගත මැනැවැ යි පමණ දැන කෑව මැනව. මතු මෙතෙක් දවස් ගිය කල ගොයම් පැසෙයි. එ වක දක්වා රැකුණ මනා වේ දැයි සිත සිතා සුඟින් සුඟ කෑව මැනැව. මෙසේ එක් සමයෙක දුක් ගෙන උපයා ගත් කළ අනිත් සමයෙහි ත් පෙර කළා සේ ම මෙසේ වීර්‍ය්‍ය කළමනා ම ය. මෙසේ දිවිහිමියෙන් ම යලත් මාසත් අප්‍රමාද ව මෙහෙ කළ මැනැව. පරීක්‍ෂා කළ කල ගොවීහු නිකම් හිඳිනා දවසෙක් නම් නැත. ලෙඩ ව හොත් කලත් උපයා කෑ නො හැක්ක. සේවාකම් ආදි වූ නො එක් කටයුත්තෙහි නියුක්ත ව ගිය කලත් ගම හිඳ උපයා කෑම් නම් නැත් ම ය. මහලු ව ජරාවට පැමිණ කලත් මෙකී කර්මාන්ත කොට ගත නො හැකි හෙයින් උපයා කෑ නොහැක්ක.

එ කල දෑතින් දෙදඬු ගෙන විළි පිළියෙන් විරූප ව කුද ගසා ගෙන පෙර තමා උපයා කෑ රට ම වෙස් බැඳ පානා විකාර රූපයක් සේ දොරින් දොර සිඟා කෑ ඇවිද්ද මනා ය. එසේ හෙයින් මලද්ධ! නුවණැසින් බැලුවාන්ට මේ සසර සුව විඳීමෙක් නො වෙයි. දුක් විඳීමෙක් ම ය. කලෙක නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැන නැඟී භවයෙන් අග පැමිණියාහු සුව විඳියෝ පවා, කලෙක සතර අපායට පැමිණ දුක් විඳිනාහු ය. කලෙක බ්‍රහ්මරාජන් ව සුව විඳිනාහු කලෙක කදෝකිම් ව ත් උපදනාහු ය. කලෙක ශක්‍ර සුයාම සන්තුෂිතාදි දිව්‍යරාජන් ව සුව විඳිනාහු පවා කලෙක ප්‍රේතලෝකයෙහි ඉපැද ප්‍රේත දුක් විඳිනාහු ම ය. කලෙක දිවඋයන්වල දිව කෙළි කෙළ ඇවිද්දාහු කලෙක අසිපත්‍රවෙනෙහි කැපි කැපී ඇවිදිනාහු ම ය. කලෙක දිව්‍ය ප්‍රාසාදවල සුව විඳ ඇවිද්දාහු කලෙක නරකාග්නි ජාලාභ්‍යන්තරයට පැමිණෙන්නාහු ය. කලෙක දිව්‍යමය භෝජනය අනුභව කළාහු කලෙක ලෝගුළි අනුභවයෙනුත් දවස් යවන්නාහු ම ය. කලෙක දිව්‍යපානීය වර්ග අනුභව කළාහු කලෙක ලෝහ පානීයන් අනුභවකොට නරකවල ඇවිදුනාහු ය. කලෙක දිව්‍යමය වූ යහන්වල සැතපුනාහු කලෙක තප්ත වූ යපෝළෝවල ශයනය කරන්නාහු ම ය. කලෙක දෙවඟනන් පහස් විඳ ඇවිද්දාහු කලෙක කටු ඉඹුල් වෙනෙහි ඇවින ඇවිනත් ඇවිදුනාහු ම ය. කලෙක දිව්‍ය ගංගාවල ස්නානයකොට ඇවිද්දාහු කලෙක වෙතරණී නම් ක්‍ෂාරොදක ගංගාවල ඇවිදිනාහු ම ය. කලෙක දිව්‍ය පුෂ්කරණීවලට බැස ජල ක්‍රීඩාවෙන් මත් වූවාහු කලෙක ලෝකුඹුවල ඉපැද නිරා දුකින් උමතුවත් ඇවිදිනා ම ය. කලෙක රන්රුවන් කළු මුදුනෙහි දිව කෙළි කළ ඇවිද්දාහු කලෙක අඞ්ගාර පර්වත මස්තකවල ත් ඇවිදුනාහු ම ය.

කලෙක පාණ්ඩුකම්බල ශෛලාසන නැඟී දෙවි පිරිස් පිරිවරා උන්නාහු කලෙක දිවස්හුල නැඟී කවුඩු බලු පිරිස් පිරිවරාත් හිඳිනාහු ම ය. කලෙක දිව්‍යරථවලින් ඇවිද්දාහු කලෙක තප්ත වූ අසෝ රථ නැඟීත් ඇවිදිනාහු ම ය. කලෙක දිව්‍ය සමාන හස්තීවාහන නැඟී ඇවිද්දාහු කලෙක තුමූ අනුන්ට වාහනවත් ඇවිදුනාහු ම ය. කලෙක සක්විතිරජ ව ඇවිද්දාහු කලෙක චණ්ඩාලවත් ඇවිදුනාහු ම ය. කලෙක මිණි ඔටුනු ධරා ඇවිදි ඉසින් කලෙක දරමිටි උසුළා ත් ඇවිදිනාහු ම ය. කලෙක දිව්‍ය සමාන මට සිලුටු වූ සළුවෙන් සරහා ඇවිද්දාහු කලෙක උකුළුකලවෙ කුණු රෙදි පිළිවෙලින් සරහාත් ඇවිදිනාහු ම ය. කලෙක අනගි වූ දළමුතු හරින් උරමඬල සරහා ඇවිද්දාහු කලෙක කප්පට හිරා කර ලා දුටු දුටුවන් අරභයාත් ඇවිදුනාහු ම ය. කලෙක බෘහස්පති සමාන නුවණැති ව සකල සත්ත්‍වයනට ආචාරී ව ඇවිද්දාහු කලෙක අඥාන ව අව්‍යක්ත ව තුමූ තමන්ට ආචාරිවරුන් සොයාත් ඇවිදිනාහු ම ය. කලෙක මිහිරි වූ කටහඬින් චිත්‍ර කථික ව ඇවිද්දාහු කලෙක මුගබධිර ව ඉගිලා ත් ඇවිදුනාහු ම ය. කලෙක පුරුෂ ව ඉපැද ස්ත්‍රීන් පිරිවරා ඇවිද්දාහු කලෙක ස්ත්‍රී ව ඉපැද පුරුෂයන්ට පතිනිවත් උපදනාහු ම ය. කලෙක ඔවුනො‘වුන් කෙරෙහි ජීවිත සමාන ප්‍රේමයෙන් ඇවිද්දාහු කලෙක ඔවුනොවුන් ගෝචරකොටත් ඇවිදුනාහු ම ය. අහස බලා අත්පොළසන් දී සත්රුවන් වැසි වස්වා ගන්නා තරම් මහාමන්‍ධාතු සක්විති රජුන් වැනියෝ කලෙක මිනී ඉස්කබල් ගෙන දොරින් දොර භික්‍ෂාටනය කොට ගොතටුකඳ වැද හෙම දේහ නික්‍ෂේපය කළාහු ම ය.

මේ ආදි කාරණයෙන් මලද්ධ! මේ සසර නම් නුවණැසින් බැලුවාහට විද්ධම්බනාවක් වැන්න. පිදුරු කැරැල්ලක් සේ අග් මුල් නැති සේ ය. ගුළ නම් ලිහිණියන්ගේ කසල්ලක් සේ පිළිවෙලක් නැති යේ ය. අවුල් හූ වැටියක් වැන්න. දියෙහි නැගි දිය බුබුළක් වැන්න. දියෙහි යන රළ සතරක් වැන්න. දියෙහි ඇඳි රේඛාවක් වැන්න. විදුලියක් වැන්න. සුළං කඩක් වැන්න. දෝලා කෙළියක් වැන්න. ඉන්‍ද්‍රජාලාවක් වැන්න. දර්ශන රූපයක් වැන්න. සිහිනෙන් දුටු රූපයක් වැන්න. ඉතා නිස්සාර දෙයෙක. තපස් කොට නිවන් දුටුවාහට ජරා නැත. මරණනැත. දුක් නැත. ශෝක නැත. දුගතිය නැත. ඉතා ශාන්ත ය. දාන්ත ය. මලණ්ඩ! මේ සියල්ල ම මා නුඹට කියාලූ බැවින් පිළිවන් වී නම් මා කී සැටියේ උපයාතා තෙපි ගිහි ගෙයි වසව. මාගේ ලක්‍ෂ ගණන් නළු පිරිස් හා තුන් පාය හා රජ සැපතත් පාවා ගනුව. මම මාගේ බුදුරජාණන් කරා ගොස් මහණ ව සුවසේ වෙසෙමි යි කීහ.

එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ බෑණන් විසින් කියන ලද උපයා කෑමෙහි දුක් හා සංසාරයෙහි ආදීනව අසා තුන් භවය ගිනිගත් ගෙයක් සේ කොට සිතා, සසර භය ගෙන වෙවුලා බෑණන්ගේ සම්පත් තබා තමාගේ ලක්‍ෂ ගණන් නළුපිරිස් හා තුන් සෘතුවට කළ තුන් පාය හා සියලු රජ සැපත අලුයම දැමූ කෙළ පිඩක් සේ සිතා සැපත් ලෝභය හැර “බෑණන්වහන්ස! උපයා කෑම් නම් සසර නම් මෙසේ වූ දුකෙක් වනැ යි මෙතෙක් දවස් නො දත්තෙමි. රන්තලිවලින් ම බත් උපදිති යි සිතීමි. මෙසේ වූ දුකක් ඇති ගිහි වාසය මට නොකැමැත්තේ ය. මට ස්නේහ ඇතියේ නම් නුඹ මහණ වන්නට නො ගොස් මා ම පළමුකොට බුදුන් කරා යවාපුව මැනැවැ”යි කියාලා බෑණන් අනුදන්වාලා එ කලට පියාණන් නැති හෙයින් මෑණියන් වසන රජගෙට ගොස් මෑණියන් දැක “මෑණියන් වහන්ස! බුදුන් කරා ගොස් මහණ වනු කැමැතියෙමි. මට අවසර දුන මැනැවැ”යි කීහ.

මවු බිසොවු පුතණුවන් කී බස් අසා ල පිරුණු ශෝක ඇතිව “මාගේ ප්‍රිය පුතණුවෙනි! නුඹ පියාණන් වහන්සේ නැත. මාගේ හදවත හා දෑස හා නුඹ හා සම වුව. එසේ හෙයින් මට සැපත් නම් නුඹ හා නුඹගේ බෑණන් වහන්සේගේ දර්ශනය වුව. එසේ වූ දුකකට නුඹ යවාලා වැද හිඳීමට මට බැරි ය. මා දිවි තිබිය දී අනු නොදන්මි”යි කීහ. එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ “මෑණියන් වහන්ස! කුමක් කියන සේක් ද, ගංගාවෙහි නිකුත් මහ දියවතුර මහමුහුද මුත් අතුරෙක නො රඳන්නා සේ ම මාගේ ශ්‍රද්ධා නමැති මහවතුර සුගත් මහමුහුදට වැද මුත් නො රඳාම ය. සමුදුන මැනැවැ”යි කීහ. එ වේලෙහි දු මවුබිසොවු “බැරිය පුතණ්ඩ”යි කීහ. තව ද: අනුරුද්ධ කුමාරයෝ නො පසු බැස “මෑණියන් වහන්ස! ආකාශයෙහි නැඟු වැසි මහපොළොව මුත් අනික් තෙනෙක නො රඳන්නා සේ මාගේ තෘෂ්ණා නමැති වර්ෂාව සුගත් මහපොළොව වැද මුත් නො රඳා ම ය. සමු දුන මැනැවැ”යි කීහ. තුන්වනුව ද මවු බිසොව “පුතණ්ඩ! එසේ වූ බසක් මා කණ නොවකව”යි කීහ. තව ද: අනුරුද්ධ කුමාරයෝ “මෑණියන් වහන්ස! ආකාශයෙන් පර්වතාග්‍රයෙකින් නිකුත් දියහැල්ලක් පර්වත ප්‍රාන්තයෙහි රඳන්නා සේ මාගේ තෘෂ්ණා නමැති දියහැල්ල සර්වඥ නමැති නියග්ගලයෙහි ගැලී මුත් නොරඳා ම ය. අවසර දුන මැනැවැ”යි කීහ.

එ වේලෙහි මෑණියෝ කම්පිත වූ සිත් ඇති ව ලපිරුණු සිත් ශෝකයෙන් අනිකක් කියාගත නොහී මායමින් දරුවන් තපසට යා නො දෙමි යි සිතා එවක නම් භද්දිය රජ්ජුරුවන් රාජ්‍යය කරන කාලය හෙයින් “පුත! තොපගේ කල්‍යාණමිත්‍ර වූ එක කෙළි මඬලෙහි වැඩියා වූ ඒක ප්‍රාණ වූ භද්දිය නම් රජ්ජුරුවන්ට කියාලා ඔහු මහණ වෙත් නම් උන් හා සමග ගොස් බුදුන් කෙරෙහි මහණ වව”යි කීහ. එවේලෙහි අනුරුද්ධ කුමාරයෝ යහපත මෑණියෙනි! උන් යතොත් යන්නෙම් වේ දැ”යි කීහ. බිසොවු රජෙක් නම් රාජ්‍යශ්‍රීය හැර කවර කලෙක නම් මහණ වේ දැ”යි සිතා “යහපත, යව පුතනුවෙනි!”යි කීහ.

එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ රජගෙට නික්ම මගදී සිතන්නාහු “මාගේ මෑණියන් වහන්සේ “රජ්ජුරුවෝ නම් මහණ වන්නට නො යෙති. උන්කරා යැවු කල ඔහු මුන් රඳවා ගනිති”යි මායමින් සමු දුන් සේක. රජ්ජුරුවන් මහණ නො වන්නේ ත් සැබෑව. මම උපදෙසකින් අනු ත් එක්කොට ගෙන මහණ වෙම් ම ය”යි සිතා අපගේ ශාක්‍යකුලයෙහි රජදරුවෝ නම් දිවි යේ නමුත් බොරු නො කියති. උපදෙසකින් මහණ වෙමි යි කියා ගෙන එ බස මුල් කොට රජහට චෝදනා කොට ලජ්ජා කරවා මහණ වන සේ ගිවිස්වා ගනිමි යි සිතාලා රජගෙට ගොස් භද්දිය රජ්ජුරුවන් දැක රජහු වැළඳ සිඹ සනහා “දේවයෙනි! මා නුඹ කෙරෙහි ඇති ප්‍රේම මෙතෙකැ යි පමණ නො දන්මි. නුඹ මා කෙරෙහි ඇති ප්‍රේම මා තරමට අඩු ය යි සිතමි. ඉදින් නුඹ වහන්සේ මේ රාජ්‍ය ශ්‍රී හැර මහණ වන සේක් වී නම් මම ද මාගේ තුන් සෘතුවට කළ තුන් පාය ඇතුළු වූ සුවහස් නළුපිරිස් ආදී වූ සියලු සම්පත් අලුයම දැමූ කෙළපිඩක් සේ නො සිතා නුඹ හා එක්ව ගොස් මහණ වෙම් ම ය. එසේ හෙයින් මාගේ තපස පවා නුඹගේ තපස් අනුව පවත්නේ ය. ඉදින් එසේ පළමු ව තපසට යතෝතින් නුඹගේ තපස් මා හා අනු වේ දැ”යි කීහ.

අනුරුද්ධාදීන්ගේ පැවිදිවීම

එ වේලෙහි භද්දිය රජ්ජුරුවෝ වැලිකෙළියෙහි පටන් එක්ව ම සුව විඳ ඇවිද්දා වූ ජීවිතය සමාන යහළුවා කෙරෙහි වූ උදාර වූ ප්‍රේමයෙන් උමතු වූවාහු සිහි එළවාගත නොහී මොහුගේ මේ සා සැපතක් හැර මහණ වීමෙක් නම් කවර කලෙක වේ දැයි සිතා “යහළු තෙපි මහණ වූවාහු නම් මමත් රාජ්‍ය ශ්‍රී හැර තොප හා සමඟ මහණ වෙමි”යි කීහ. එ බසට අනුරුද්ධ කුමාරයෝ අමාදිය කඳෙකින් අභිෂේකයක් ලදුවා සේ ඉතා සන්තුෂ්ට වූවාහු මා සිතූ සිත ඒකාන්තයෙන් සෑදෙන වනැ යි සිතා “දේවයෙනි! එසේ වී නම් නො ඇසූදෑ ද, අද ම මහණවන්නට යෙමි. මා හා කැටිව ආව මැනවැ”යි කීහ. එ වේලෙහි භද්දිය රජ්ජුරුවෝ පර්වතයෙකින් ගැහැටුණු කලක් සේ රාජ්‍යලෝභයෙන් කම්පිත වූ සිත් ඇති ව නො සලකා වරදවා කියාපිමි. මා කීයේ කිමෙක් දෝ හෝ යි සිතා යහළු! අපි දෙදෙනම තව නවයෞවනයෙහි පිහිටියම්හ. දැනට කාමසුව අනුභව කොට මතු මහලු ව ගියකල සමඟ ව ගොස් මහණ වම්හ”යි කීහ.

එ බසට අනුරුද්ධ කුමාරයෝ “යහළු! ජරා මරණ දෙදෙනාගේ පසු පළමු වීමෙහි විභාගයෙක් නැත. සමහර කලෙක ජරාව පළමුව යෙයි. සමහර කලෙක ජරාවට මරණ පළමුව යෙයි. තෙලෙ නුවණෙක් නො වෙයි. අප බුදුහු එකුන්තිස් ඇවිරිද්දෙහි කාමසුව හැර සත්දවසෙකින් ලැබෙන සක්විතිරජය හැර මහණ වූහ. උදායින් ආදි වූ මෙම නුවර මහා ඇමැතියෝ ද නව යෞවනයෙහි මහණ ව අමා මහ නිවන් දැක දැන් අප ඉස පිය පස් වගුරුවා ගෙන ආකාශයෙන් ඇවිදිති. අපි ඔවුන් වඳුම්හ. පුදම්හ. සත්කාර කරම්හ. මෙයිදු ලජ්ජාවකට ඇත. කාමසුව විඳීම් නම් නුවණැසින් බැලූ කල සුව විඳීමෙක් නො වෙයි. දුක් විඳීමෙක. එකලා ව වලට ගොස් තපස් කිරීම නම් විශේෂයෙන් බැලූ කල දුක් විඳීමෙක් නො වෙයි. ඒකාන්ත සුව විඳීමෙක. යහළු දෙබසක් නො කියව. මහණ වන්නට යම්හ”යි කීහ.

එ වේලෙහි භද්දිය රජ්ජුරුවෝ තමන් මහා සත්‍යවාදී වූ හෙයින් උත්තරයක් කිය නොහී “එ බැවින් යහළු සත් අවුරුද්දක් රාජ්‍යය කොට පියා දෙදෙන ම එක් ව ගොස් මහණ වම්හ”යි කීහ. අනුරුද්ධ කුමාරයෝ “එසේ නො ගිවිසිමි” යි කීහ. “සහවුරුද්දක් බලව” යි කීකල. එසේත් නො ගිවිසිමි යි කීහ. “පස් අවුරුද්දක්-සතර අවුරුද්දක්-තුන් අවුරුද්දක්-දෑවුරුද්දක්-හවුරුද්දක් බලව” යි කී කල එසේ එසේ ත් නො ගිවිසිමි යි කීහ. නැවත “සමසක් බලව - පස්මසක් බලව - සාරමසක් බලව - තුන් මසක් බලව - දෙමසක් බලව - මසක් බලව - දෙපෝයක් බලව” යි කී කල එසේ එසේ නො ගිවිස්සහ. “එසේ වී නම් යහලු! මාගේ පුත්‍රදාරාවන්ට අනුශාසනා කොට රාජ්‍යය කන්කොට ලනතෙක් එකසත් දවසක් බලව. මට අසා ඇසියා නම් උත්තරයක් නො කියව”යි කීහ. එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ “සත්දවසකට ගිවිසීම් යහපතැ”යි කීහ.

ඉක්බිත්තෙන් සත්දවසක් මුළුල්ලෙහි කළමනා සියලු කෘත්‍යයන් නිම වූ කල සත්වන දවස් ඒ අනුරුද්ධ කුමාරයෝ ය, භද්දිය කුමාරයෝ ය, බුදුන් සුලු පිය වූ දෝතෝදනයන් දරු අනඳ නම් කුමාරයෝ ය, කිම්බිල නම් රාජකුමාරයෝ ය, භගු නම් රාජ කුමාරයෝ ය, සුප්‍රබුද්ධයන් දරු යසෝධරා දේවීන් බැහැ දෙවිදත් නම් රාජකුමාරයෝ ය යි රජකුමරුවෝ සදෙන තම තමන්ගේ සුවහස් ගණන් ඇත් අස් රථ බල පිරිස් ගෙන ශක්‍රපුරයෙන් බට දිව්‍ය භටයන් සදෙනකු සේ උයන් කෙළියට යම්හ යි නුවරින් පිටත් ව ක්‍රීඩා පසාරයෙන් යොදුන් ගණනක් පලා ගොස් එක් බිමෙක සිය සෙනඟ රඳවා ඔවුනො‘වුන්ට හිඟිලා උපාලි නම් කපුවාණන් හා සමග සත්දෙන මහ සෙනඟට සොරව වැද වල් හිරා ගොස් පසල් දනවුවකට බැස ඔවුනොවුන් හා කථා කොට එක් ව ම මහණවම්හ යි ඔවුනොවුන් ගිවිස්වා ගෙන තම තමන් පලන් සත්රුවන් ආභරණ ගලවා උතුරු සළුවෙක පොදිබැඳ උපාලි නම් කපුවාණන්ට දී “මේ සියලු ආභරණ තොප සේ වූ එකක්හු එක් ජාතියක් මුළුල්ලෙහි සුඛිතව ම ජීවිත රක්‍ෂාකොට ගැන්මට පමණ වන්නේය”යි කියා “තෙලෙ සම්පත් තොපට ම දුනුම්හ. අප බුදුන් කෙරේ මහණ වන්නට යම්හ”යි කියා රජකුමරුවෝ සදෙන නික්මුණාහ.

එ වේලෙහි රජකුමරුවන් යත් යත් උපාලි ආභරණ පොදිය අතින් අල්වාගෙන බල බලා සිට අනගි වූ සම්පතෙහි ඉතා භය ඇති ව “ශාක්‍යයෝ නම් ඉතා ගුණ නපුරුහ. මේ සම්පත් හැරගෙන රාජ්‍යයට ගොස් මා මෙ පවත් කී කල “සම්පත්ති ලෝභයෙන් රජදරුවන් උගන්වා ගෙන යවාපුයේ මේ කපුවා ය” යි මට කිපී මරා දමාපු නම් නපුර. සම්පත් තබා දිවි ගලවා ගතෝතින් යෙහෙක. මේ මට සැපතෙක් නො වෙයි. විපතට කාරණ ය. මෙ වැනි රජුන් සැපත් හැර මහණ වන කල මා වැනියන්ට සැපතින් කම් නැත. මම ද ඔවුන් හා සමග මහණ වෙමි” යි සිතා ආභරණ පොදිය පිටින් ගසෙක එල්වා “පළමු ව දුටු කෙනකුන් තෙලෙ හැරගන්නේ ය” යි අත්ගසා රජදරුවන් ගිය පද ලකුණෙන් දිව ගොස් රජකුමරුවන් හඹා ගියහ. එ කල ‘අවුනැ’යි රජකුමරුවන් විචාළ කල තමන් ආ පවත් කියා “මම ද මහණ වෙමි” යි කීහ. රජකුමරුවෝ “තොප හා සේ ම යෙහෙක. වරෝ ය”යි කියා උනු දු කැඳවා ගෙන ගොස් එ කලට බුදුන් මල්ල රජුන්ගේ අනුපිය නම් නියම්ගම අනුපිය නම් වෙනෙහි වසන තෙනට ගොසින් බුදුන් දැක වැඳ එකත්පස් ව උන්හ.

එ කල ස්වාමිදරුවෝ ඔවුන් ආ කාරණ විචාරා මහණ වන්නට ආ බහු අසා මහණවයි අවසර දුන් සේක. එ වේලෙහි රජදරුවෝ සදෙන කියන්නාහු “ස්වාමීනි! අපගේ කුලෙහි ශාක්‍යයෝ නම් ඉතා මානීයහ. මානයෙන් ම මඩනා ලදහ. නුඹවහන්සේ වැනියන් පවා නො වඳුම්හ යි මන් කළ කුලයෙක උපනුම්හ. අප ද මහණ වූ කල එ බඳු වූ මානයෙක් උපනී නම් එ කල මහණදම් මුදුන් පැමිණිය නො හෙයි. මේ අපගේ උපාලි නම් කපුවාණන් පළමුව මහණකොට අප පසුව මහණ කොට වදාළ මැනැව. එසේ කල ඔවුන් අපි වඳුම්හ. පුදම්හ. සත්කාර කරම්හ. එසේ කල අපගේ අභිමානත් සිඳෙයි. මහණදමුත් මුදුන් පැමිණෙයි. ඉදින් මතු රාජ්‍යශ්‍රීයෙහි ලෝභයකුදු වී නම් “තොපගේ කපුවාණන් වැඳ පුදා නීචක්‍රියා කොට නැවත රාජ්‍යය කරන්නට අවුදැ”යි ශාක්‍යයන් අපට පරිභව බෙණෙති යි කියා දෙවනු ව රාජ්‍යලෝභය ද දුරුවෙයි. මේ මේ කාරණයෙන් උන් පළමු ව මහණ කරවා අප පසු ව මහණ කළ මැනැවැ”යි කීහ. ස්වාමිදරුවෝ “තොප කීයේ කාරණ ම ය. ඥානවන්තයන් සිතුව මනා සිතිවිල්ලෙක් ම ය” යි වදාරා උපාලිත් පළමු ව මහණ කොට, රජ සදෙනා දෙවනු ව මහණ කොට උපසම්පදා කරවා කර්මස්ථානයන් ඉගැන්වූ සේක.

එ කල විදර්ශනා වඩා ඒ වස්සානය ඇතුළත භද්දිය තෙරුන් වහන්සේ රහත් ව භද්දිය නම් මහතෙර ව බුද්ධශාසන නමැති මහ සරසියෙහි සුපිපි මහා පද්මයක් සේ ශීල සුගන්‍ධයෙන් තුන්ලෝ හෙබවූ සේක. අනඳ මහතෙරුන් වහන්සේ ද එසේ ම සෝවාන් ව බුද්ධෝපස්ථායකයන් කෙරෙහි අග්‍ර වූ ස්ථානාන්තර ලදින් බුද්ධශාසන නමැති ආකාශයෙහි නැඟූ ජයකෙකුවක් සේ ඉතා ප්‍රසිද්ධ වූ සේක. කිම්බිලය-භගුය යි යන දෙදෙනා වහන්සේ ද එසේ ම රහත් ව පන්සිය පන්සිය පිරිස් ගෙන බුද්ධශාසන නමැති දිව්‍යරූපයෙහි දිව්‍යනේත්‍රයුග්මයක් සේ ඉතා ශෝභාසම්පන්න වූ සේක. දේවදත්තයෝ ද තිස්ස නම් මහ තෙර ව ධ්‍යානලාභී වූහ. ඔවුන්ගේ කථාව මතු කියන ඔවුන්ගේ චරිතයෙන් ම දතයුතු. උපාලි මහතෙරුන් වහන්සේ ද එසේ ම රහත් ව විනයධාරීන් කෙරෙහි අග්‍ර ස්ථානාන්තර ලදින් පන්සියයක් පර්ෂද් ඇති කොට බුද්ධශාසන නමැති මහා ගෘහයෙහි ප්‍රදීපයක් සේ සසුන් බැබළවූ සේක.

ඉක්බිත්තෙන් අනුරුද්ධ මහතෙරුන් වහන්සේ ද විදර්ශනා වඩා රහත් ව ත්‍රිවිද්‍යාවෙහි කෙළ පැමිණ පෙර තමන් වහන්සේ පියුමතුරා නම් බුදුන් සමයෙහි පාන් පූජාකළා වූ කුශලයාගේ බලයෙන් වැඩහුන් එම අස්නේ හිඳ ලක්‍ෂයක් සක්වළ තුබූ තලඇටක් සා වස්තුවකුත් අත්ලෙහි තුබුවා සේ දක්නා තරම් දිවස් ලදින් එතැන් පටන් ශාසනාම්බරයෙහි පුන්සඳක් සේ සසුන් හොබවා බුදුසස්නෙහි දිවැස් ඇතියන් කෙරෙහි අග්‍ර වූ තනතුරු ලදින් බුදුන් මල් අනුරුද්ධ මහතෙරුන් වහන්සේ ය යි මෙ නමින් දිව්‍ය මනුෂ්‍යයන් කෙරෙහි ඉතා ප්‍රසිද්ධ වූ සේක.

සුමන සාමණේරයන් නා රජු දමනය කිරීම

මේ අනුරුද්ධ මහතෙරුන් වහන්සේ එක් සමයෙක දනවු සැරිසරා ඇවිදනාසේක් මුණ්ඩ නම් නියම්ගමට සිඟා වැඩි සේක. එහි මහාමුණ් නම් සිටාණ කෙනෙක් වූහ. ඔහු තෙරුන් වහන්සේ පවරාගෙන වස් තුන්මසක් දන් දී වස්අන්තයෙහි පිළිතෙල් සහල් උක්සකුරු ආදිය ගෙනවුත් “ස්වාමීනි! මේ වස්වාසික ලාභය පිළිගත මැනැවැ”යි කීහ. තෙරුන් වහන්සේ උන්ගේ පුතණුවන් මහණ කරවා ගන්නා කැමති ව “උපාසකයෙනි! මා සමීපයෙහි කැප පිළිගන්වාලන සාමණේර කෙනෙක් නැත. එසේ හෙයින් තිලින් මට කම් නැතැ”යි නො පිළිගත් සේක. සිටාණන්ගේ මහා සුමන ය-කුඩා සුමන ය යි පුත් කුමරුවෝ දෙදෙනෙක් වූහ. එසේ හෙයින් සිටාණෝ “එසේ වී නම් ස්වාමීනි! මාගේ මේ මහා සුමන නම් පුතණුවන් මහණ කරවා ගත මැනැවැ”යි කියාලා පාවා දුන්හ. තෙරුන් වහන්සේ ඔහුගේ හේතුසම්පත් නැති සේ දැක “මහාසුමනයාගෙන් මට කම් නැතැ”යි වදාළ සේක.

සිටාණෝ “එසේ වී නම් ස්වාමීනි! මාගේ මේ සත් හැවිරිදි කුඩා සුමන නම් පුතණුවන් මහණ කරවා ගත මැනැවැ”යි කියාලා පාවා දුන්හ. තෙරුන් වහන්සේ තමන් වහන්සේ එ ගමට උන් උදෙසා ම වැඩි හෙයින් “යහපතැ”යි ගිවිස එම දා ම උන් මහණ කරවමි” යි සිතා කරයක් ගෙන්වා ගෙන කුමාරයන් ළඟට කැඳවා ඉසකේ කපන සේක් පළමුකොට කුඩිම්බිය කපා ඒ කෙස්වැටිය කුමාරයන් අතට දීලා “දරුව! තෙල බල බලා සිටුව”යි කියාලා තමන් වහන්සේ උන් ඉසකේ කපන සේක. සුමන කුමාරයෝ එ කෙස්වැටි සුග බල බලා “මේ මාගේ ආදි ඉස් මුදුනෙහි තුබූයේ ය. දැන් මෙ ම විගස ම කුණප භාවයට පැමිණියේය. මින් එක ලොමකුත් කන බොන භෝජනයෙක වැටී ගියේ නම් බඩ අඹරයි. පිළිකුල් කෙරෙයි. මිනිස් ආත්මය පිළිකුල් නියාය”යි අශුභ ලකුණු උපදවා භාවනා කරන්නාහු ඉසකේ කපා නිමවීම හා සමගම සිවු පිළිසිඹියා පත් රහත් වූ සේක.

එ වේලෙහි තෙරුන් වහන්සේ සත්හැවිරිදි ඒ සුමන කුමාරයන් රහත් වූ පසු මහණ කරවා ගෙන එදා පටන් දෙපෝයක් මුළුල්ලෙහි දෙමවුපියන් විසින් කරන ලද මහා පූජා විඳ පසුව දා බුදුන් දක්නට යම්හ යි කියා උන්වහන්සේගේ දෙමවුපියන්ට කියාලා සාමණේරයන් වහන්සේ කැඳවාගෙන සැවැත් නුවර දිසාවට ආකාශයෙන් වඩනා සේක් හිමාලය වනයෙහි රමණීය වූ එක් ගල්ගුහායෙක සැතපුනු සේක. එදා රාත්‍රීභාගයෙහි තෙරුන් වහන්සේ අවකාශයක් නැති ව සක්මන් කරන ලද උදරවාතයක් ඇති ව මහත් වූ වේදනා විය. සුමන සාමණේරයන් වහන්සේ ගුරුන් වහන්සේට දුක් මහත් සේ දැක කම්පිත වූ සිත් ඇති ව “ස්වාමීනි! පෙර මේ රුජාව ගත් කල කුමන බෙහෙත් වැළඳූ කල ගුණ වේදැ”යි විචාළහ. එ බසට තෙරුන් වහන්සේ “සාමණේරයෙනි! හිමාලය වනයෙහි අනවතප්ත නම් විලෙක ඇත. එයින් පැන් වැළඳූකල ගුණ වේ ම ය”යි වදාළ සේක. ඉන් පැන් ගෙනෙම් දැ යි සාමණේරයන් වහන්සේ කී සේක. ශක්ති ඇත්තෙහි ද සුමන ය යි ගුරුන් වහන්සේ වදාළ කල “ඒ මට බැරි නො වෙයි ස්වාමීනි”යි කියා සිටිසේක.

එ වේලෙහි ගුරුන් වහන්සේ “සුමනය! පැන් ගෙනෙන්නට පොහොසත් වී නම් අනවතප්තවිල පන්නක නම් දිව්‍යනාගරාජයෙක් අරක් ගෙන වෙසෙයි. එ මහත් වූ ආනුභාව ඇත්තේ ය. ඔහුගේ ආනුභාවයෙන් ඒ විල කල් නො වරදවා ම වැසි වස්නේ ය. එ මා හා පුරුදු ය. මා ලෙස බව ඕහට කියාලා මට බෙහෙත් පිණිස පැන් කළයක් වහා ගෙනෙව” යි වදාළ සේක. එ කෙණෙහි සුමන සාමණේරයන් වහන්සේ ‘යහපතැ’යි ගිවිස කළයක් එක අතකින් ගෙන ආකාශයට පැනනැගී පන්සියයක් යොදුන් පමණ තැන් වැඩ ඒ අනවතප්තවිලට පැමිණි සේක. එ දවස් වනාහි ඒ පන්තක නම් නාගරාජයා ලක්‍ෂගණන් දිවනසින් පිරිවරා ඒ අනවතප්තයෙහි ජලක්‍රීඩා කෙරෙමින් සිටියේ ය. සාමණේරයන් වහන්සේ ආකාශයෙන් වඩනා දැක කිපී “මෙ මුඩු මහණු තෙමේ ඉතා ලදරු ය. තෙමේ තමා බැව් නො දැන මා ඉස පියපස් වගුරුවන්නා සේ ආකාශයෙන් එයි. කළයකුත් අතින් එල්වාගෙන එයි. මාගේ විලින් පෑනක් සොයා එන සැටි ය. මෝහට පැන් අද නො දෙමි”යි දියකෙළි ඇපියා මහත් වූ නා වෙසක් මවාගෙන යෙළසියයක් යොදුන් වට ඇති අනවතප්තවිල සිසාරා දරණ ලාගෙන ඌරා ළිඳෙක මතු මතුයෙහි ඌරා කබල් සිටගත්තා සේ, වටා මහපවුරක් ලූවා සේ, නොයෙක් පටින් දරණ ලාගෙන කළයක් පැන් පියනකින් වැසුවා සේ, එණ ගබින් ඒ සා විල පැන් වසාගෙන අතක් පොවාලන අවකාශයක් නො පා කිපි කිපී රතැ‘ස් බමව බමවා කුඹුරු සම් මඩනා සේ සුස්ම සුස්මා වැද හොත්තේ ය. ඉක්බිති සුමන සාමණේරයන් වහන්සේ නාගරාජයාගේ ආකාරය දැක “මොහු මට කිපී අහංකාර කොට හොත් සැටි ය”යි දැන ආකාශයෙහි සිට:-

සුණොහි මෙ නාගරාජ! - උග්ග තෙජ මහබ්බල,

දෙහි මෙ පානීයඝටකං - භෙසජ්ජම්හි ආගතො-යි.

යන මේ ගාථාව වදාරා පැන් ඉල්වූ සේක. නාගරාජයා එ බසට සාමණේරයන්ට කිපී “බල මහණ පැටව! මෙ තෙනට නැගෙනහිර දිග්භාගයෙහි ගඞ්ගා නම් ගඞ්ගාවෙක් ඇත. එහි සියලු ජලය ගොස් මහමුහුද ම වැගිර යෙයි. උවමනා වී නම්, තට කාර්‍ය්‍ය වී නම්, එ ගඟින් පැන් ඇරගෙන යව. මාගේ විලින් තට පැන් බින්දුවකුත් නො දෙම්මය”යි කී ය. එ බසට සාමණේරයන් වහන්සේ “මේ නාගරාජයා අද මට ගුණයෙන් පැන් නො දේ ම ය. මොහු නො කැමති කරවා වී නමුත් බලයෙන් ම අද පැන් ගෙන යෙමි”යි සිතාලා නාගරාජ ය! ශාක්‍යසිංහ වූ අප මහා ගෞතම බුදුන්ගේ දෙබෑයන් දරු මල් දිවැස් ඇත්තන් කෙරෙහි අග්‍ර වූ, දෙව්ලොව මිනිස්ලොව ඉතා ප්‍රසිද්ධ වූ, තමන් වහන්සේට එකබත් කෙනෙස්සක් පමණ ලාලූ සිඟන්නන් පවා දෙව්ලොව උපදවා ශක්‍රයා හා සම වූ, සම්පත් දී ඉන්‍දක නම් දිව්‍යපුත්‍රයා ය යි ප්‍රසිද්ධ කරවා පියන තරම් මහත් වූ ආනුභාව ඇති, ඒ අනුරුද්ධ නම් මහතෙරුන් වහන්සේ මාගේ ගුරුන් වහන්සේ ය. මම උන් වහන්සේගෙන් කරුණා ලදින් ඔබ කෙරෙහි වසන එක්තරා එක් සත් හැවිරිදි සාමණේර ළදරුයෙකිමි. වැලිදු මා බාල තැනැ යි නො සිත. තා සේ වූ නයින් ලක්‍ෂයකුත් මාගේ මිට සඟවාගෙන පරසක්වළ ගසා පියන තරම් ආනුභාව ඇතියෙමි. හිරි මඬල-සඳ මඬල ම පාපිස්නා බිසිකඩ සේ මා පාවිටට ගෙන්වා ගනුත් පොහොසත්මි. මේ පොළොව පරඬලා පතක් සේ ඔසවාගෙන මෙරගල මත්තෙහි තබාලා වමතින් ඔසවාගෙන පත්කුඩයක් සේ අතින් ගෙන සක්මන් කරන භික්‍ෂු කෙනෙකුන් සේ සක්මන් කරත් පොහොසත්ම තාගේ මේ පණස් යොදුන් මහවිලෙහි පැන් මාගේ එක අල්ලෙක් උකාගෙන තට පැන්පෙතකුත් නො තබා හැර ගෙන යත් පොහොසත්මි. තට ත් නායක වූ තාගේ ශක්‍ර දේවේන්‍ද්‍රයා එවාලා මෙම විලින් පැන් ගෙන්වා ගනිතත් පොහොසත්මි.

අද තෝ මට අහංකාරයක් කෙළෙහි නම් බුදුසසුන් වන් සත් හැවිරිදි බාලදරුවන්ගේ පවා මෙසේ වූ මහිම ඇතැ’යි කියා මතු පස්වාදහසක් කල් මුළුල්ලෙහි ධර්මකථිකයන් ලවා ම තුඩ තුඩ ස්තුති කරවා බොහෝ දෙනා විස්මයපත් කරවම් ම ය. ගිනි මට ගිනි නොවෙයි. දිය මට දිය නො වෙයි. ගල් මට ගල් නො වෙයි. යක්කු මට යක්කු නො වෙති. දැඩියෝ මට දැඩියෝ නො වෙති. නයි මට නයි නොවෙති. තටත් දැඩියන් අඳුනෙම් ම ය. තටත් වඩා ආනුභාව ඇති තව ද සියදහස් ගනන් නයින් අඳුනෙම් ම ය. තෝ මට අහංකාර නො කර, මාගේ ගුරුන් වහන්සේ අද මා ලවා ම පැන් ගෙන්වන සේක් ම ය. මම ද පැන් කළයක් ගෙන යෙම්ම ය. පසු ව හිඳ ලජ්ජා නොව දැන් පැන් කළයක් දීපි ය” යි දෙවනුව වදාළ සේක. එ බසට නාගරාජයා දණ්ඩෙන් ගැසුවා සේ කිපී “මහණ! අද තාගේ බල බලම් ම ය. මම ද පැන් නොදෙම් ම ය. සූරයෙහි වී නම් පැන් ගෙනගොස් බලනැ”යි කී ය. “එසේ වී නම් තෙලෙ! බස තා සිත තබ”යි මෙසේ ම තුන්විටක් ප්‍රතිඥා හැරගෙන “මම එකලාව පැන් ඇරගෙන ගියෙම් නම් අඳුරු ගෙයි නැටුවා සේ අප්‍රසිද්ධ වෙයි. බුදුන් දරුවන්ගේ බල බොහෝ දෙනාට දක්වාලා, සියලු සතුන් තුණුරුවන් කෙරෙහි පහදවාලා, මොහුගේ මාන භඞ්ග කොට පැන් ගෙන යෙමි”යි සිතාලා එ කෙණෙහි ආකාශස්ථ දෙවියන් කරා ය, සතර වරම් දෙවිරජුන් කරා ය යි මකුළු හුයක් දා නො යන ඇසිල්ලෙහි වැඩ ඔවුන් හැම දෙනාට කියාලා.

එයින් අසුරුසනකින් ශක්‍රභවනයට මැඩ ශක්‍රයන් ආදි වූ දෙවියන්ට කියාලා, එයින් සුස්මක් එළා නො එන ඇසිල්ලෙහි වැඩ සුයම් වැසි දෙවියන්ට කියාලා. එයින් ඇසිපියක් එළා නොඑලවන ඇසිල්ලෙහි වැඩ සන්තුෂිතයෙහි දෙවියන්ට කියාලා. එයින් පැනක් බී නො පියන ඇසිල්ලෙහි වැඩ නිර්මාණ රතියෙහි දෙවියන්ට කියාලා. එයින් විදුලියක් ගසා අන්තර්ධාන නො වන ඇසිල්ලෙහි වැඩ පරනිර්මිතවශවර්තියෙහි දෙවියන්ට කියාලා එයින් දික් කළ අතක් වක් නොකරන තුරු බඹලොවට වැඩ අරූතල අසංඥතලයන් හැර පසළොස් බමලොව බඹුන් කරා වැඩ මේ සියලු දෙවියන් තමන් වහන්සේ දැක “ඇයි ස්වාමීනි! වැඩි සේක් නැ”යි කී කල “අනවතප්ත විල පන්නක නම් නාගරාජයා හා මා දැන් යුද්ධයෙක් වෙයි. තෙපි තෙපි එ තෙනට අවුදින් බුදුසසුන් වැද මහණ වූ සත් හැවිරිදි බාල දරුවෝ ජයගනිද් දෝ හෝ නොහොත් කර්කශ වූ විෂඝෝර නයි ජයගනිද් දෝ හෝ යි හෝ එ තෙන බලා සිටුව”යි කියාලා ඇසිල්ලෙකින් නැවත එම තෙනට වැඩ ආකාශයෙහි නිශ්චල ව වැඩ සිටිසේක.[87]

එ වේලෙහි දිව්‍යබ්‍රහ්මසේනාව ඔවුනොවුන් පරයා දිවගෙන අවුදින් ඒ සා තුන්දහසක් යොදුන් අයම් විතර ඇති හිමාලය වනයෙහි අවකාශ මඳ හෙයින් සූක්‍ෂම වූ වෙස් මවාගෙන නළෙක පුරාලූ රන්සුණු සමූහයක් සේ අවකාශයක් නැති ව අහස්කුස පුරා සිට ගත්හ. මේ මහත් දිව්‍යසේනාව මධ්‍යයෙහි නාගරාජයා අතින් පෙර සේ ම පැන් ඉල්වා වදාළ සේක. පෙර කීවා සේ ම නාගරාජයාත්, “සුරු නම් පැන් හැරගනුව”යි කී ය. මෙසේ තුන්යලක් කියවාගෙන දොළොස් යොදුන් මහ බඹ වෙසක් මවාගෙන ඔහුගේ පනස් යොදුන් පණගබ පිටට බැසලාසත්ගවු සමාරක් දිග ඇති පතුල්දෙකින් ඉක්මන් නොව සක්මන් කරන සේක. සක්මන් කොට කොට දෙවිළුඹෙන් සැරහි සැරහි මැඩ මැඩ ලන සේක. එකෙණෙහි නයි සුස්මක හඬත්, මඩනා වේලෙහි පණ ය සුළං ගන්නා හඬත් අහස් ගිගුම් හා මුහුදු රළගිගුම් හා එක එල්ලයට පැමිණ ගියා සේ ඉතා මහත් ව ඝෝෂා විය. එකෙණෙයි නාග රාජයාගේ පෙණගබ මඩුත් මඩු ත් අස්අස්සෙන් ජලධාරාවෝ තල් කඳ සා ව ආකාශයට ගවු දෙගවු උස නැගෙන්නට පටන් ගත්තාහු ය. සක්මන් කරමින් සිට ම ජලධාරාවට කළය අත්ලෙහි තබාගෙන පැලෑ පැන්කළයක් පුරාගෙන “අප ආ කම් නිපන නාගරාජ ය! අපි යම්හ මොහුගෙන් දුන් පැන ම අප ගත් නියාවට තෙපි තෙපි ත් දෙස් වව”යි දෙවියන්ට ත් කියාලා බ්‍රහ්මාත්මභාවය අන්තර්ධාන කොට මහණ වෙසින් ම නික්මුණු සේක. එ කෙණෙහි දිව්‍යබ්‍රහ්මසේනාව මහත් වූ සාධුකාර පූජා කළාහු ය.

එ කෙණෙහි නාගරාජයා මහත් වූ ලජ්ජා ඇති ව දෙවියන් තමාට කරන වෙසෙසුම් ඉවසාගත නොහී “මෙ මුඬුමහණ තනි ව පැන් ඇරගෙන නො ගොසින් මේ සා වූ දිව්‍යසේනාව මධ්‍යයෙහි මට නින්දා කෙළේ ය”යි කිපී අද ඔහු කටට අත ලාලා හදවත හෝ කඩා දමමි. කෙකුල අල්වාගෙන පරගහට හෝ ගසමි”යි කිය කියා සැරයක් විදපුවා සේ සාමණේරයන් වහන්සේ පසු පස්සෙහි ලුහුබඳවා දිව, සන්හුන් ගමනින් නිශ්චල ව පසු නො බලා වඩනා ස්වාමීන් වහන්සේ හඹාගත නොහේ ම ය.

මෙසේ පැන් ගෙන ගොස් වැඩ ගුරුන් වහන්සේ අතට පැන් පිළිගන්වාලා “වළඳා වදාළ මැනව. ස්වාමීනි”යි ආරාධනා කළ සේක. එ කෙණෙහි ඒ නාගරාජයා දිව දිව අවුදින් “ස්වාමීනි! අනුරුද්ධ මහ තෙරුන් වහන්ස! තෙලෙ පැන් නො වැළඳුව මැනව. නො වැළඳුව මැනව. මහණුන් නම් නුදුන් දෙයක් ඉඳුරා ගත නො හැක්කේ වේ ද, මේ සාමණේරයෝ මාගෙන් නුදුන් පැන් උදුරා ගෙන ගෙනාවාහු ය”යි කී ය. තෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේ මුහුණ බලා “සබා ද සුමනය”යි වදාළ සේක. සාමණේරයන් වහන්සේ “මොහු මට දුන් පැන් ම ගෙනාමි, පැන් කැප ය, වළඳා වදාළ මැනැවැ”යි කී සේක. මහ තෙරුන් වහන්සේ “රහත් සාමණේරයෝ බොරු නො කියන්නාහු ම ය”යි දැන පැන් වළඳා වදාළ සේක. එ කෙණෙහි රුජාව අන්තර්ධාන වි ය.

ඉක්බිත්තෙන් නාගරාජයා “මේ සාමණේරයෝ බොහෝ දෙවියන් මධ්‍යයෙහි මට බොහෝ නින්‍දා කළාහු ය. මුන්ගේ හදවත හෝ කඩා දමමි. දෙකකුල ගෙන පරගඟට හෝ ගසමි”යි කීය. මහ තෙරුන් වහන්සේ “නාගරාජය! තා සේ වූ නයි ලක්‍ෂයකුත් කෝටියකුත් සාමණේරයන්ට හානියක් කළ නො හෙති. ඔහු මහත් වූ ආනුභාව ඇතියාහ. තෝ නො දොඩා උන් වැඳ ක්‍ෂමා කරවා ගනැ”යි වදාළ සේක. දෙවියන් වෙහෙසන ලජ්ජාවෙන් සිට ගත නොහී ආ බව මුත් නාගරාජයෝත් සාමණේරයන් වහන්සේගේ බල දනිත් ම ය. එසේ හෙයින් වැඳ ක්‍ෂමා කරවා ගෙන “මෙයින් මතු පැනක් උවමනා විට ගැත්තවුට කියා එවා වදාළ මැනැව. ගැති ම ගොස් පැන් පිළිගන්වාලා එයි” කියා සාමණේරයන් වහන්සේට ආරාධනා කොට ලා නාගරාජයා පලා ගි ය. ඉක්බිත්තෙන් මහ තෙරුන් වහන්සේ බුදුන් වැඩහුන් ඒ පූර්වාරාමයට වැඩි සේක.

තෙරුන් වහන්සේ වඩනා බල බලා බුදුහු විශාඛාවන් කැරවූ ඒ මිගාරමාතු නම් මහ පායෙහි මතු මාල්තෙලෙහි වැඩහුන් සේක. එ වේලෙහි සමහර භික්‍ෂූන් වහන්සේ පෙරමගට ගොස් මහතෙරුන් වහන්සේ අතින් පාසිවුරු ගෙන වඩා හිඳුවා පය සෝදවා ඇඟට පවන් සලා ආගන්තුක සත්කාර කරන සේක. පෘථග්ජන සමහර වහන්දෑ සුමන සාමණේරයන් වහන්සේ කරා ගොස් කන්රොඹුව ඇද ඇද හිසකේ අල්වාගෙන සල සලා “කිමෙක් ද? සඟ පැටවාණෙනි, කවර දා මහණ වූ ද?” රෑ රෑ සයින් වැදහොත හෙවු ද? ගමට බඩ නො කකියා ද? තොපගේ ගම දී මෑණියන් තනතුරට වැදලා වක ගසාගෙන නිදන කල සුව ද? දැන් උදකලා ව වැදහෝනා කල සුව ද? යනාදීන් කෙළියට නිසි වෙහෙසුම් බස් කිය කියා රහත් බව නො දැන භය නැති ව ම කෙළිනා සේක. බුදුහු මේ කාරණය දැක “මේ භික්‍ෂූහු නයකුගේ ග්‍රීවය අල්වාගෙන කෙළිනා සත්ත්‍වයන් සේ, මතැ‘තකුගේ දළ අල්වාගෙන කෙළින්නන් සේ, මේ සාමණේරයන් බල නො දැන ප්‍රාතිහාර්‍ය්‍ය නො දැන උන් හා කෙළිනාහු ය. අද ඔහුගේ බල දෙවියෝ ඇම දුටහ. භික්‍ෂුගණයාහට ද ඔහුගේ ආනුභාව අද දක්වමි”යි සිතා වදාළ සේක.

එ කල මහතෙරුන් වහන්සේ බුදුන් කරා ගොස් දැක වැඳ එකත්පස් ව හුන් සේක. බුදුහු උන්වහන්සේ හා කැටි ව පිළිසඳර කථා කොට ලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්‍දය! අද අනවතප්ත විල ජලයෙන් දැන් පාද ධෝවනය කරනු කැමැත්තෙමි. සාමණේරයකු යවා පැන් ගෙන්වව”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් සාමණේරයන් රැස්කොට පාලියෙන් සිටුවාලා “ඇවැත්නි! බුදුහු අනවතප්ත දියෙන් පාදධෝවනය කරන සේක. පැන් ගෙනෙන්ට පොහොසත් කෙනෙක් කවුරු දැ”යි විචාරා හැමදෙනාම “අපට බැරි ය, අපට බැරි ය”යි කී කල කෙළවර සිටි සුමන සාමණේරයන් ළඟට ගොස් “අනවතප්ත විලින් පැන් ගෙන ඉස හෙවු දැ?”යි විචාළ සේක. සාමණේරයන් වහන්සේ “බුදුහු මා ලවා පැන් ගෙන්වන සේක් වී නම් ගෙනෙමි”යි කියාලා බුදුන් කරා ගොස් “ස්වාමීනි! අනවතප්ත විලින් මා හා පැන් ගෙන්වන සේක්දැ?”යි විචාර “බල ඇත්තෙහි නම් සුමන ය, පැන් ගෙනෙව”යි බුදුන් වදාළ කල බුදුන් වැඳ සමු ඉල්වාගෙන දෙවනුව ගුරුන් වහන්සේ වැඳලා එ වෙහෙර විශාඛාවන් සාංඝිකකොට කරවා ලැවු සැට සැට කළය පැන් ගන්නා මහදිය කළ සැටින් එක් කළයක් මුව විටින් අල්වා වියළී ගිය ලබුවක් එල්වා ගත්තා සේ එක් අතකින් එල්වාගෙන පක්‍ෂප්‍රහාර කොට ගුවන්කුසට පැන නැඟී හංසපෝතකයකු සේ සියලු භික්‍ෂුඝණයා බල බලා සිටිය දී ආකාශයට පැන නැඟී අනවතප්ත විල දිශාවට නික්මුණු සේක.

නාගරාජයා සාමණේරයන් වහන්සේ දුරදී ම වඩනා දැක චක්‍රවර්තියක්හු දුටු චණ්ඩාලයකු සේ භය ඇති ව පෙර මගට දිව දිව අවුදින් ඔබ අතින් කළ ය දෑතින් ඇරගෙන පැන් කළයක් පුරා තමා කරපිට තබාගෙන “ස්වාමීනි! වැඩවදාළ මැනැව. ගැති ම කැටි ව ගොස් පැන් හැර දීලා එයි” කියාලා නික්මිණ. සාමණේරයන් වහන්සේ “නාගරාජය! මාගේ බුදුහු මා ලවා ම පැන් ගෙන්වනු කැමැති සේක. තෝ සිටැ”යි ඔහු රඳවා පියා පැන්කළය අත්ලෙහි තබාගෙන ආකාශයෙන් වඩනා සේක. බුදුහු දුර එන සාමණේරයන් දැක පෙර කෙළි හැම භික්‍ෂූන් ළඟට කැඳවා “මහණෙනි! රාජහංස ලීලාවෙන් සුමන සාමණේරයා එන ලීලාවක් බලව”යි කිය කියා වැඩඋන් සේක.

ඉක්බිත්තෙන් සාමණේරයන් වහන්සේ වැඩ පැන් කළය එකත්පස් කොට තබාලා බුදුන් වැඳ සිටිසේක. එ වේලෙහි බුදුහු ඔබ ගෙනා පැනින් පය සෝදා සාමණේරයන් වහන්සේ මුහුණ බලා “සුමන ය! දැන් තෝ කී හැවිරිද්දෙහි දැ”යි විචාරා “ස්වාමීනි! සත් හැවිරිදියෙමි”යි කී කල රජකුට දස්කම් කළා වූ ළදරුවකුටත් ගරු තනතුරු ලැබේ ම ය. මා වැනි සද්ධර්ම වර චක්‍රවර්තියක්හුගේ ශාසනයෙහි බාල ව සිට දිව්‍ය බ්‍රහ්මයන් මධ්‍යයෙහි මේ සා වික්‍රමයෙකින් සසුන් බල පෑ ලොව විස්මයපත් කළා වූ තට ගරු වූ තනතුරක් දෙමි. මාගේ සස්නෙහි විසිහැවිරිදි වූ කල උපසම්පදා කෝටියක් සංවර ශීලය ලැබෙයි. තෝ දැන් සත් හැවිරිද්දෙහි ම උපසම්පදා ව” යි වදාරා එම විට ම ඔබ උපසම්පදා කොට වදාළ සේක.

තව ද, මේ බුදු සස්නෙහි අනික් සෝපාක නම් සාමණේර කෙනකුන් වහන්සේ හා මේ සුමන සාමණේරයන් වහන්සේ විනා සත් හැවිරිදි වයස උපසම්පදා වූ අනික් එක ද භික්‍ෂු කෙනෙක් නැත්තාහු ම ය. මෙසේ මේ සුමන සාමණේරයන් වහන්සේ එ තැන් පටන් සසසුන් නමැති ආකාශයෙහි දිලියෙන අභිනව පූර්ණ චන්‍ද්‍රයා සේ ප්‍රසිද්ධ ව අසාධාරණ වූ උත්තම ප්‍රතිපත්තින් ජීවිතාන්තය දක්වා බුදුන්ට පූජා කළ සේක.

මෙසේ රාහු අසුරේන්‍ද්‍රයා විසින් කරන ලද මහා නමස්කාර පූජා ය. සුමන සාමණේරයන් විසින් කරන ලද ප්‍රාතිහාර්‍ය්‍ය ප්‍රතිපත්ති පූජා ය ආදි ශබ්දයෙන් දක්වන ලද සෝපාක නම් සාමණේරයන් වහන්සේ ය, පණ්ඩිත නම් සාමණේරයන් වහන්සේ ය, රේවත නම් සාමණේරයන් වහන්සේ ය, සංකිච්ච නම් සාමණේරයන් වහන්සේ ය, සුඛ නම් සාමණේරයන් වහන්සේ ය යි යනාදි වූ ක්‍ෂීණාශ්‍රව වූ සත් හැවිරිදි-දොළොස් හැවිරිදි හෙරණුන් විසින් කරන ලද අසාධාරණ වූ ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මහ පොළොව සේ විශාරද වූ ගුණ ඇති, මහ මුහුද සේ ගැඹුරු වූ ගුණ ඇති, මහමෙර සේ ස්ථිරසාර වූ ගුණ ඇති, ආකාශය සේ අනන්ත වූ ගුණ ඇති, අකනිටා බඹලොව සේ ඉතා උස් වූ ගුණ ඇති, සක්වළ අනන්ත වූවා සේ අපර්‍ය්‍යන්ත වූ ගුණ ඇති, සත්ත්‍වලෝකය සේ අචින්ත්‍ය වූ ගුණ ඇති, සංස්කාර ලෝකය සේ කල්පනාවට අවිෂය වූ ගුණ ඇති, සෘද්ධිවිෂය සේ සූක්‍ෂ්ම වූ ගුණ ඇති, බුද්ධවිෂය සේ අනුන් විසින් නො සිතිය හැක්කා වූ ගුණ ඇති, යුගන්‍ධර සාගරය සේ වන්නවුන් ගුණ මුහුද ම ගලා ගන්නා වූ, සියුම් වූ ගුණ ඇති, හිරුට වඩා තේජෝ ගුණ ඇති, සඳුට වඩා සෞම්‍ය ගුණ ඇති, මාගේ ස්වාමිදරු වූ, මාගේ ම ගුරු වූ, මාගේ ම දෙවි වූ, මාගේ ම කල්‍යාණ මිත්‍ර වූ, මට ම ශරණ වූ, මට ම පිහිට වූ, මා ම නිසා බුදු වූ, මා ම නිසා මේ සද්ධර්ම දේශනා කොට තබා ලූ, මාගේ ම තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක.

එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං යි.

මේ පූජාවලියෙහි අප බුදුන් සුමන සාමණේරාදි හෙරණුන්ගෙන් ලද

දහරභික්‍ෂු ප්‍රතිපත්ති පූජා කථා නම් වූ එකුන්විසි වන පරිච්ඡේදය නිමි.

20. අසදෘශ මහාදාන පූජා කථා

තව ද: අප බුදුන් සැවැත් නුවර දී කොසොල් මහ රජුගෙන් ලද අසදෘශ මහා දාන පූජා නම් කවර? යත්;

ඒ දානයට පූර්වභාගයෙහි පිළිවෙල කථාව මෙසේ දතයුතු. ත්‍රීභුවනචූඩාමාණික්‍ය වූ, මාගේ ස්වාමිදරු වූ, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කරුණා නමැති ජලතලාවෙහි පිහිටුවන ලද අභිනිහාර නමැති ජලයෙන් හා, බෝධිසම්භාර නමැති මහානාළයෙන් හා ශීල නමැති විශාල පත්‍ර සමූහයෙන් හා විදර්ශනා නමැති පෙති සමූහයෙන් හා නුවණ නමැති අනන්ත වූ කෙසරු පෙළින් හා, වජ්‍රඥාන නමැති මහ කෙමයෙන් හා, සදහම් නමැති පුෂ්කර මධුබින්‍දු සමූහයෙන් හා, ගුණ නමැති සුවඳ ගඳින් හා, වෛනෙය ජන නමැති බමර කැලන් විසින් හා, ශ්‍රාවක ගණ නමැති හංස සමූහයා විසින් හා, බුද්ධඥාන නමැති සූර්‍ය්‍යා ලෝකයෙන් හා, තුන්ලෝ නමැති මහා සරසියෙහි පැන නැගි සර්වඥතාඥාන නමැති මහා පද්මය ප්‍රබුද්ධ කරවා, ප්‍රථම බෝධියෙහි පටන් ලෝවැඩ කරන කල බුදුවූ විසි හවුරුද්දක් මුළුල්ලෙහි ම නිරන්තරයෙන් අත් පා මෙහෙකළා වූ එක් කෙනකුන් වහන්සේ ම ය යි නැත. නාගසමාලය, නාගිතය, උපවෘණය, සුනක්ඛත්තය, චුන්‍දය, සාගත ය, රාධ ය, මෙඝීය ය යන මේ අටදෙනා වහන්සේ බුදුන්ට මුරලාගෙන වතාවත් කරන සේක.

එ කල මාගේ ස්වාමිදරුවෝ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේගේ නුවණ පිරී හුන් සේ දැක දෙවුරම් වෙහෙර දි අසූ මහ සව්වන් වහන්සේ ම රැස්කොට ලා ආමන්ත්‍රණය කොට මහණෙනි! දැන් මාගේ වයස් පස් පනස් හවුරුද්දෙක් පලාගිය. එසේ හෙයින් වට සොබ්බන කාල ය ඉක්ම ගියේ ය. ලොවුතුරා බුදුන්ට ජරා විලිපිලියෙක් නො වේ ම ය. එසේ ද වුවත් දැන් මම මහලුවන වයස් ඇති යෙමි. එසේ හෙයින් මහලු නම් වෙමි. සමහර මහණ කෙනෙක් මා හා එක මඟ යමින් සිට මා යන මඟ හැර අනික් මගෙක යම්හයි යෙති. සමහර මහණ කෙනෙක් මාගේ පාත්‍රය බිම තබා පියාත් පලා යන්නාහු ම ය. සමහර කෙනෙක් මා පස්සෙහි යමින් සිට අළු ගොඩක් පිට වැදහෙව බලු තපස් කරන්නා වූ මිථ්‍යාදෘෂ්ටිගතුවන් දැක රහතුනැ යි කියා උන් කරා ත් ගොස් කථාකරන්නාහු ම ය. එසේ හෙයින් නිරන්තරයෙන් මට අත් පා මෙහෙ කරන එක් මහණ කෙනකුන් නිල වන්නා කැමැතියෙමි”යි වදාළ සේක.

එ බසට සැරියුත්-මුගලන් ආදි වූ අසූ මහ සව්වන් වහන්සේම ඉතා මහත් වූ සංවේගයට පැමිණ වෙන වෙන නැඟී සිට “ස්වාමීනි! මම නුඹවහන්සේට මෙහෙ කෙරෙමි. මා හැරගෙන මෙහෙ ගෙන වදාළ මැනැව මටම කරුණා කොට වදාළ මැනව. ඒ සැපත මට ම දී වදාළ මැනැවැයි”යි යනාදීන් ආරාධනා කළසේක.

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ රහතන් අතින් මෙහෙ නො ගන්නා හෙයිනුත්, ඒ සෙසු බුදුන්ගේ චාරිත්‍ර හෙයිනුත්, කප්ලක්‍ෂයක් පැරුම් පුරා ආ කෙනකුන් අතින්ම මෙහෙ ගන්නා හෙයිනුත් “මෝහට මතු ආනන්‍ද තම ස්ථවිර කෙනෙක් උපස්ථායක වෙති”යි සූවිසි වාරයෙක සූවිසි බුදුන් ම වදාරණ ලද හෙයිනුත්, බුදුහු “මහණෙනි! තෙපි තෙපි වෙන වෙන ම ප්‍රාර්ථනා කොට මාගේ ශාසනයෙහි වෙන වෙන ම තනතුරු ලදුව. එසේ හෙයින් තෙපි සිටුව-තෙපි සිටුව”යි කියා නො ඉවසා වදාළ සේක.

ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ උපස්ථායක තනතුර භාරගැනීම

එ වේලෙහි ඇමදෙනා වහන්සේ බුදුන්ගේ අදහස් දැන ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ බණවා “ඇවැත්නි! බුදුන් තොප කෙරෙහි අභිප්‍රාය ඇති සැටි ය. තෙපි බුදුන්ට අත් පා මෙහෙ කරව”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහතෙරුන් වහන්සේ සකල ශරීරයෙහි ලොමු දැහැ ගන්වමින් පස්වනක් ප්‍රීතින් පිනා “මම් ම බුදුන්ට මෙහෙ කෙරෙමි”යි සිතා වදාරණ සේක් “බුදුහු මා කෙරේ ම අභිප්‍රාය ඇතිසේක් විනා මම ද බුදුන්ට මෙහෙ කරනු කැමැත්තෙම් ම ය. කරන්නා වූ අත් පා මෙහෙය සප්පාය කොට කරුණු කැමැත්තෙම් ම ය. මා ඉල්වන්නා වූ වර අටෙක් ඇත. ඒ වර අට බුදුහු මට දුන්සේක් වී නම් අද පටන් ම මෙහෙ කෙරෙමි”යි වදාළ සේක. එ බසට භික්‍ෂූන් වහන්සේ “ඇවැත්නි! ඒ වර අට නම් කිම් දැ”යි විචාළ සේක.

එ වේලෙහි අනඳ ස්වාමීන් වදාරණ සේක් “මම බුදුන්ට මෙහෙ කෙරෙම් නම්: බුදුන්ට උපන් චීවරයකුත් නො වළඳිම්මය. බුදුන්ට උපන් පිණ්ඩපාතයකුත් නො වළඳිම් ම ය. බුදුන් හා එක ගඳකිළියෙහිත් නො සැතපෙම් ම ය. බුදුන්ට කළා වූ ආරාධනාවෙක වැළඳී මටත් නො යෙම්මය. මෙසේ වූ ප්‍රතික්‍ෂෙප වර සතරෙක. තව ද: මාගේ පාත්‍රයට උපන් ආහාරය මා කෙරෙහි වෙනසක් නැතිව බුදුන් විසින් වළඳා මා උපාසක තනතුරෙහි තබා වදාළ මනා ම ය. යම් යම් දූරස්ථානයෙක සිට ත් කිසි කෙනෙක් අවුදින් දැන් ම මා බුදුන් දක්වාලුව මැනැවැයි මට අවුදින් කිවු නම් එ වේලෙහි බුදුන් සිටකු රජකු දෙවියකු බඹකු හා සමග කතා කරන සේක් වී නමුත් මම ඔහු භය නැති ව කැඳවාගෙන ගොස් බුදුන් දක්වාලා මාගේ වල්ලභකමත් පවිම් ම ය. යම් යම් ප්‍රස්ථාවෙක බුදුහු ධ්‍යානාදියෙන් වැඩ උන් සේක් වී නම් මම එ විගස ම බුදුන් අතින් විචාරම් ම ය. තව ද: මා නැති ව දෙව්ලෝ බඹලේ ආදියෙහි දී ත් බුදුහු යම් යම් බණක් වදාළසේක් වී නමුත් දෙවනුව අවුදින් ඒ බණ මටත් වදාළ මනා ම ය. මෙසේ වූ ආයාචනා වර සතරෙකැයි මෙ මා කී අට වරය ලදිම් නම් මෙහෙ කෙරෙමි යි ඒ ඉල්වා දුන මැනැවැ”යි වදාළ සේක.

එ වේලෙහි බුදුහු සාධු සාධු ආනන්‍දය! අනන්තපරියන්ත වූ බුදුන්ගේ ආයාචනයන්ගේ ඒ චාරිත්‍රෙයක් ම ය; ඒ උතුම් වූ වර අට තට නිෂ්ශේෂයෙක් ම දිනිමි. තෝ මට මෙහෙ කරව”යි කියා වදාළ සේක.

මෙසේ ඒ අනඳ මහ තෙරුන් වහන්සේ එ තැන් පටන් බුදුන්ට උපස්ථාන කරන්නවුන් කෙරෙහි ය. කෙළෙහි උපකාර දන්නවුන් කෙරෙහිය. සිවුපස ලාභීන් කෙරෙහිය. මිහිරි වූ කටහඬ ඇති ව බණ කියන්නවුන් කෙරෙහි ය. බහුශ්‍රැතයන් කෙරෙහි ය. යන මේ පඤ්චස්ථානයෙන් අග්‍ර ව එතදග්‍රපාළියෙහි තබන ලදුව. තව ද: ආගම සම්පදා ය, අධිගම සම්පදාය, පූර්වහේතු සම්පදාය, අර්ථානර්ථ ප්‍රතිපෘච්ඡා සම්පදාය, තීර්ථවාස සම්පදාය, යොනිසො මනසිකාර සම්පදාය, බුද්ධොපනිඃශ්‍රිත සම්පදායයි යන මේ සම්පතසම්පත්තින් සම්පූර්ණ සේක. එතැන් පටන් පස් විසි හවුරුද්දක් මුළුල්ලෙහි අප්‍රමාද ව බුදුන්ට උපස්ථාන කරන සේක් “ආනන්‍ද! ය යි බුදුන් ලවා දෙවාරයක් හඬගා පීම් නම් මාගේ කවර නම් පක්‍ෂපාත කමෙක් දැ”යි සිත සිතා දඬුවැට පහන් අතින් ගෙන තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි ගඳකිළිය සිසාරා ඇවිද පාන් කොට පියන සේක් ම ය.

ඒ අනඳ මහ තෙරුන් වහන්සේ කෙසේ වූ විශ්වාසයක් කියා මෙසේ වූ ප්‍රේමයකින් බුදුන්ට අත් පා මෙහෙ කළ සේක් ද? යත්;

ආනන්‍ද තෙරුන් පිළිබඳ ජාතක දේශනා

පෙර පියුමතුරා නම් බුදුන් සමයෙහි නොයෙක් පුණ්‍ය සම්භාරයන් රැස්කොට බුදු කෙනකුන්ට මෙසේ පක්‍ෂපාතවෙමියි ප්‍රාර්ථනා කොට ආ සේක්ම ය. සසර බුදුන්ගෙනුත් බොහෝ උපකාර ලැබ ආ සේක් ම ය. බුදුන්ටත් බොහෝ උපකාර කොට ආ සේක් ම ය.

සෙසු කල් හැර මෙම කප ජුණ්හජාතකයෙහි ස්වාමිදරුවන් ජුණ්හ නම් රජ කල උරයෙන් උරය ගැටී ගියා වූ විශ්වාසයෙන් හවුරුදු පතා ලක්‍ෂෂයක් නිමන ගම්වර පසක් හා, කෙල්ලන් සියයක් හා, ගවයින් සත්සියයක් හා, පසළොස් දහසක් ඝනරන් හා, ස්ත්‍රීන් දෙදෙනකු හා මේ ආදි නොයෙක් ධන රාශීන් එක දා ලද්දා වූ එ කල බමුණානෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: භද්දසාල ජාතකයෙහි ස්වාමිදරුවන් භද්දසාල නම් වෘක්‍ෂදේවතාවා වූ සමයෙහි බෝසතුන් අතින් අවවාද ලදින් එ තැන් පටන් හවුරුදු පතා ලක්‍ෂ වටනා බිලි පූජා කරැවූවාහු එ කල ඒ රජ්ජුරුවෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: කාලිඞ්ගබෝධි ජාතකයෙහි බෝධිමණ්ඩලය දැක බුදුන් බුදු වන තැන ය යි අසා බුදුන් කෙරෙහි ම ප්‍රේමයෙන් එ බීම අටළොස් රියන් උස මහා කනකස්තම්භයක් හිඳුවා, අවට සත්රුවන් වේදිකා කරවා, මැද රන් සන්නෙන් තවරා, රුවන් පවුරු රුවන් දොරටුයෙන් සේ ම කරවා, සැට දහසක් සුවඳ මල් වාහයෙන් පූජාකොට, දවස්පතා ම මෙ සෙයින් ම පූජා කරව යි නියෝග කොට ගියා වූ එ කල ඒ කාලිඞ්ග නම් චක්‍රවර්ති නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන්වහන්සේ ම ය.

තව ද: රූරුමිග ජාතකයෙහි ස්වාමිදරුවන් රූරු නම් මුව රජකුල මුවතුඩින් වදාළ බණ අසා පැහැද දියෙහි ගොඩෙහි සියලු සතුන්ට අභයදාන පූජා කළා වූ එ කල ඒ බරණැස් රජ්ජුරුවෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: සාලිකේදර ජාතකයෙහි ස්වාමිදරුවන් ගිරා රජ ව උපන් කල්හි ගිරා තුඩින් කී බණ අසා පැහැද පැසුණු පිටින් හැල් අටකිරියක් පූජා කළා වූ එකල ඒ සාලින්‍දිය නම් බමුණානෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: චිත්තසම්භූත ජාතකයෙහි ස්වාමිදරුවන් චිත්ත නම් මහා තාපස කල පිට පිට සතර ජාතියෙක විශ්වාස ධර්මයෙන් ම ඉපැද කෙළවර ජාතියෙහි බෝසතුන් අතින් බණ අසා පැහැද ඒ සා බරණැස් රජය හැර එම දා මහණව ජීවිතාන්තය දක්වා පක්‍ෂපාත ව අත් පා මෙහෙ කළා වූ එ කල ඒ සම්භූත නම් රජ්ජුරුවෝ නමු දු මෙකල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: සිවි ජාතකයෙහි ස්වාමිදරුවන් සිවි නම් නරපති ව අන්‍ධ වූ බමුණාට ඇස් දන් දෙන දා බෝසතුන්ගේ නියෝගයෙන් ම ඖෂධ බලයෙන් ඇස් දෙක උපුටා දී ලු. බැරි වූ අඞ්ගපරිත්‍යාගයෙහි පවා අනුබල සහාය වූ, එකල ඒ සීවක නම් වෙදානෝ නමු දු මෙ කල මේ අනඳ මහතෙරුන් වහන්සේ ම ය.

තව ද, රෝහන්තමිග ජාතකයෙහි ස්වාමිදරුවන් රෝහන්ත නම් මුව රජ ව මල බැඳී ගිය දා අසූදහසක් මුවන් පැන පලායාදී තමන් එම මලෙහි බැඳී ගියා සේ ප්‍රේම නමැති මල බැඳි “මා මැරූ කල මුත් නුඹ මරා පිය නො දෙමි”යි කියා බෝසතුන් ඇඟ එල්බවා ගෙන සිට ඒ පෙළහරෙහි වැද්දහු විස්මයපත් කරවා බෝසතුන්ගේ ජීවිතය ගළවා දීලුවා වූ, එ කල ඒ චිත්ත නම් මල් මුවානෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: මහාබෝධි ජාතකයෙහි ස්වාමිදරුවන් මහ තවුස්ව රජුගේ ගෙට සිඟාවඩනා දා ඇතුළෙහි දී ජීවිතන්තරායට කාරණයක් දැක පටිකඳ පිට හිස තබාගෙන බුරණ පසාරයෙන් මහත් කොට කට දල්වා “ස්වාමීනි! මේ ගෙට නො එව. රජ්ජුරුවෝ තොප මරන්ට නියෝග කළෝ ය. අනික් අතෙක සිඟා වැඩපියව”යි ශුනක භාෂාවෙන් හඬගා කියා බෝසතුන් ඉවත යවා ජීවිතය රක්‍ෂා කොට දීලුවා වූ, එ කල ඒ කොලෙය්‍ය නම් ශුනකායාණෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: සොනන්‍ද ජාතකයෙහි ස්වාමිදරුවන් සොනන්‍ද නම් මහා තාපස කල ඔබ අතින් උරණ අසා භය ගෙන මෙවුලා සූවිසි අක්‍ෂෞහිණී මහ සෙනඟ හා එ තෙක් රජ පිරිස් කැඳවාගෙන ගොස් මෙ තෙක් දෙනා ලවා පැරැත්ත කියවා බෑණන් වහන්සේ වැඳ ක්‍ෂමා කරවා ගෙන බොහෝ දවසක් ආදරයෙන් විසුවා වූ, එ කල ඒ නන්‍ද නම් තාපසයෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: චුල්ලහංස ජාතකයෙහි ස්වාමිදරුවන් ධ්‍රැතරාෂ්ට්‍ර නම් හංසරාජ ව පියුම් විලෙහි බැඳී ගිය දා අනූදහසක් හංසයන් ඒ ඒ අත පලාගිය වේලෙහි තුමූ නො ගොසින් සිට බෝසතුන් ජීවිතය රක්‍ෂා කොට එ තැන් පටන් ඔවුනොවුන් අත් නො හැර ආවා වූ, එ කල ඒ සුමුඛ නම් හංස සේනාපති නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: ගුණ ජාතකයෙහි ස්වාමිදරුවන් සිංහරාජයන් කල මඩ වළෙහි වැටී මරණ ප්‍රාප්ත වූ දා ජීවිත රක්‍සා කොට එ තැන් පටන් සත් පරම්පරායෙක විශ්වාස ධර්මය නො නසා කළා වූ එ කල ඒ කැණහිලානෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: චුල්ලපදුම ජාතකයෙහි ස්ත්‍රියක බෝසතුන් පර්වත මුදුනෙන් හෙළාපු දා පිට හිඳුවා ගෙන ජීවිතය රැක දීලුවා වූ එ කල ඒ ගොයානෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: තිරිටවච්ච ජාතකයෙහි ස්වාමිදරුවන් තිරීටවච්ච නම් මහා තාපස කල යුද්ධයෙහි දී පැරද ලිඳ හී බෝසතුන් නිසා දිවි ලදින් එ තැන් පටන් ජීවිතාන්තය දක්වා අග්‍ර භෝජනාදියෙන් බොහෝ උපස්ථාන කළා වූ එ කල ඒ බරණැස් රජ්ජුරුවෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: සිවි ජාතකයෙහි ස්වාමිදරුවන් තාපස ධර්මය ම පූරණය කරන සමයෙහි ඔබගේ ම උපදෙසින් කුක්කුමමාංසානුභවය කොට බරණැස් නුවර රාජ්‍යය ලදින් බොහෝ දවසක් ඔබට ම උපස්ථාන කලා වූ එ කල ඒ හස්ත්‍යාචාරි නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: මහා අශ්වාරෝහක ජාතකයෙහි ස්වාමිදරුවන් බරණැස් රජ කල තුමූ ගොවිකුලෙහි ඉපැද එක්ව ම බොහෝ කලක් රජසුව වින්‍දා වූ ඒ කල ඒ ප්‍රත්‍යන්තවාසී වූ පුරුෂයාණෝ නමු දු මම කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: පීඨ ජාතකයෙහි ස්වාමිදරුවන් මහණදම් පුරණ කල බොහෝ දවසක් ආදරයෙන් ම උපස්ථාන කළා වූ, එ කල ඒ ධන සිටානෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: ස්වර්ණ කර්‍කටක ජාතකයෙහි ස්වාමිදරුවන් බ්‍රාහ්මණ මහාසාර කල නයකු විසින් දෂ්ට කරන ලදු ව විෂෂමූර්ඡාවෙන් මරණප්‍රාප්ත වූ දා දිවි රැක දීපුවා වූ, එ කල ඒ රන්වන් කකුළුවානෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: නානාච්ඡන්‍ද ජාතකයෙහි ස්වාමිදරුවන් බරණැස් රජ ව එක් දවසෙක රාත්‍රිභාගයෙහි “මෙනුවර මාගේ අධර්මයක් මා ඇසිය දී කියන ලකුණෙක් නැත. ඉදින් මාගේ මැදහත් කමක් පිටත කියන කෙනෙක් ඇත් නමුත් වෙස් වළා ඇවිද අසා ඒ නුගුණයත් හරිම”යි සිතාලා එකලා ව ම නුවර ඇවිදිමින් සිටි දෑ ය. එ වේලෙහි නුවර සොරු ගණනෙක් රා තිබෙන ගෙට වැද රා කළයක් සොරා හැරගෙන පලා යන්නාහු බෝසතුන් දැක “කොල! මේ සොරෙකැ”යි අල්වාගෙන එම උතුරු සළුවෙන් අත්කර බැඳගෙන රා කළය හිසට නගාලා මර මරා ගෙන යෙති. එ වේලෙහි බෝසතාණෝ තම රජ බව නො හඟවා “දුඃඛිතයෙක්මි මේ හැරගෙන මා හැරපියව”යි උතුරුසළු දී ගැළවී රජගෙට ම යෙමින් සිටියහ. එ වේලෙහි එනුවර දනුමැති දිළිඳු බමුණාන කෙනෙක් ගෙන් මිදුලට බැස ආකාශය බලා රාජබන්‍ධන නම් ග්‍රහයෝගයක් දැක ගෙට හඬ ගා පැමිණියට කියන්නාහු “පින්වත් වූ බැමිණිය! අපගේ මෙ නුවර රජ දැන් ම බන්‍ධනයකට පැමිණ දැන් ම මිදී ගියේ වේ දැ”යි කීහ.

රජ්ජුරුවෝ එ බස අසා සතුටු ව එ ගෙයි අත්තක් ගන්වා රජ ගෙට ගොස් දෙවන දා උදාසන හැම නුවර බමුණන් රැස්කොට “ගිය දා රෑ තොප තොපු දුටු අමුතු ග්‍රහ යෝගයක් මට කියව”යි විචාරා සියලු බමුණන් වෙන වෙන ගැණ බලා “අමුත්තෙක් නැතැ”යි කී කල නැවත එ බමුණා ගෙන්වා “තොප දුටු අමුත්තක් මට කියව”යි විචාරා එ බසට “මා විචාරන්නේ කිම් ද? නුඹ මරු බැම්මක් ලදින් ගැළවුනේ වේ ද, රාජබන්‍ධන නම් යෝගයෙක් වී ය”යි බමුණන් කී කල බෝධිසත්ත්‍වයෝ උන් කෙරේ පැහැද “තොප කැමැති වරයක් ගනුව”යි කීහ. එ වේලෙහි බමුණානෝ “මැනැවැ යි ගෙට ගොස් ආ කල වර ගනිමි”යි කියා ගෙට දිවගොස් අඹුදරුවන් බණවා “පින්වත්නි! අද රජ මා කෙරේ ඉතා පැහැද ගිය මා කැමති වරයක් දෙයි. කුමක් ඉල්වා ගනිම් දැ”යි විචාළහ. එ බසට බැමිණි සිනා කටක් සී පියා “ස්වාමිනි! ඇඹුල් කා පීඩාව ගියෙමි. අනික් සැපතකින් කම් නැත කිරිදෙනුන් සියයක් මට ඉල්වා දී පියව”යි කිව. පුතණුවෝ කියන්නාහු “ස්වාමීනි, අනික් සැපතකින් මට කම් නැත. සිත් සේ මා කෙළ ඇවිදපියන පරිද්දෙන් අසුන් යෙදූ රථ ඉල්වා දි පියව”යි කීහ.

යෙහෙලනියෝ “රථ තබා මට සොඳ රුවන්තෝඩු දෙකක් ඉල්වා දී පියව”යි කීහ. කෙලී කියන්නී “ස්වාමීනි! සෙසු දෙයක් නො ඉල්ලුව මැනැවැ, පෑර ගන්නා වේලෙහි ගෙන් ගෙට ඇවිද ඉතා විඩා ව ගියෙමි. වනක්-මෝලක්-කුල්ලක් ඉල්වා දීපුයේ නම් සියලු සම්පත් දුන්නා හා සම ය”යි කීව. එ වේලෙහි බමුණානෝ රජ්ජුරුවන් කරා පලා ගොස් “ස්වාමිනි! වර ගැනීම් බැරි ය. අපි හැම නානාච්ඡන්‍දයම්හ. මම ලක්‍ෂයක් නිමන ගම්වරක් කැමැතියෙමි. මා බැමිණි කිරි දෙනුන් සියයක් කැමැත්තී ය. ම පින් සිත් සේ කෙළ ඇවිද පියන අසසුන් යෙදූ රථයක් කැමැත්තේ ය. මායේලී මිණි කොඬොල් සඟළක් කැමැත්තී ය. කෙලී වනක්-මෝලක්-කුල්ලක් කැමැත්තී ය. එසේ හෙයින් එක්කෙනකුන් කැමැති වරයක් ඉල්වීම් නම් සෙස්සෝ නො කැමැති වෙති. එසේ හෙයින් වර ගැනීම් බැරිව ය”යි කීහ. එ වේලෙහි රජ්ජුරුවෝ සිනාසී “තොප කැමැති කැමැති වරම දෙමි, ගනුව”යි කියාලා මේ සියලු සැපත් දී, අග්‍රපුරෝහිත තනතුරු ද දී, බොහෝ දවසක් ඔවුනොවුන් කෙරෙහි කරුණාවෙන් වාසය කළ දෑ ය. එකල ඒ පුරෝහිත බමුණානෝ නමුදු මෙ කල මේ අනඳ මහතෙරුන් වහන්සේ ම ය.

මෙසේ සසර ද ඔවුනො‘වුන්ට උපකාර ව ආ හෙයිනුත්, ප්‍රේම ව ආ හෙයිනුත්, කප්ලක්‍ෂයක් පිරූ පාරමිතා ඇති හෙයිනුත්, බුදුහු මේ අනඳ මහතෙරුන් වහන්සේ ම අග්‍රඋපස්ථායක කළ සේක් ම ය. උන්වහන්සේ ද බුදුන්ට සුවච ව, අත් පා මෙහෙ කළ සේක්ම ය. එසේ හෙයින් පූර්වසන්නිවාසය ව සියලු සතුන්ලාට ම උතුම් ම ය. ප්‍රේමනීය ම ය. වදාළේ මැනෝ:-

පුබ්බෙ ච සන්නිවාසෙන - පච්චුප්පන්න හිතෙන වා,

එවං තං ජායතෙ පෙමං - උප්පලං‘ව යථොදකෙ- යි.

මෙසේ අනඳ මහ තෙරුන් වහන්සේ විසින් නොයෙක් ජාති භේදයෙහි ද, වර්තමාන කාලයෙහි ද කරන ලද නොයෙක් සත්කාර ලත් හෙයිනුත් එසේ එසේ වූ උපස්ථාන විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

ආනන්ද බෝධි පූජා කථා

තව ද: මෙහි ආනන්‍දබෝධිපූජා නම් කවරහ? යත්;

මෙසේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මෙම සැවැත් නුවර වාසය කොට දනවු සැරිසරා වැඩපි සමයෙක සැවැත් නුවර වාසී වූ බොහෝ ස්ත්‍රී පුරුෂයෝ සුවඳ මල් ආදිය ගෙන වෙහෙරට අවුත් බුදුන් නො දැක ඉතා මහත් වූ ශෝක ඇති ව බුදුන්ට ගෙනා මල් පිදිය යුතු වූ අනික් උත්තම වූ ස්ථානයක් නො ලදින් විහාරොපචාරයෙහි රැස්කොටපියා පලා ගියහ. අනේපිඬු මහසිටාණන් ආදී වූ බොහෝ උපාසක උපාසිකාවරු එදා මේ වල සලාපු මල් දැක කම්පා ඇති ව “බුදුන් නුදුටු කල අප ඇම බුදුන් දුටුවා සේ වැඳ පුදා ගන්නා වූ පූජ්‍යස්ථානයක් ලදුමෝ නම් යෙහෙකැ”යි ඔවුනොවුන් හා සමග කථා කොට පසුව බුදුන් දෙව්රම් වෙහෙරට වැඩිකල හැම දෙන ම ගොසින් බුදුන් දැක ඉතා මහත් වූ සොම්නසට පැමිණ පසුව අනඳ මහ තෙරුන් වහන්සේ කරා ගොස් “ස්වාමීනි! මෙ තෙක් දවස් බුදුන් නොදැක වැඳ පුදා ගන්නා දෙයක් නො ලදින් ඉතා මහත් වූ දොම්නසට පැමිණියම්හ. බුදුහු නම් නානා ස්ථානයෙහි ලෝවැඩ නිසා වඩනා සේක් ම ය. බුදුන් වෙහෙර නැති කල අප ඇම වැඳ පුදා ගන්නා පූජ්‍යවස්තුවක් බුදුන්ට සැලකොට ඉල්වා දුන මැනැවැ”යි කීහ.

එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන් කරා ගොස් වැඳ මෙ පවත් සැලකොට “ස්වාමීනි! නුඹවහන්සේ දුටුවාසේ පූජා කටයුතු ව්සුත කවරේ දැ”යි විචාළ සේක. බුදුහු ආනන්‍ද ය! පූජ්‍ය වස්තු නම් ශාරීරික ය, උද්දේශික ය, පාරිභෝගික ය යි තුනෙක් වෙයි. එයින් ශාරීරික ධාතු පූජා බුදුන් අයාමෙහි වන්නේ ය. උද්දේශික පූජා නම් ධර්මයට ධාතුවට හා බුදුන් වැනි රූපාදියට වෙයි. පාරිභෝගික නම් බුදුන් වැළඳූ පාත්‍ර සිවුරු ආදියට හා පිටදුන් ශ්‍රී මහා බෝධියට කරන්නා වූ සත්කාර ය. එසේ හෙයින් ජය ශ්‍රී මහා බෝධියෙන් ඵලශාඛාවක් ගෙනවුත් මේ ජේතවනාරාමයෙහි රෝපණය කරවා ඒ බෝධිය මා දුටුවා සේ වැඳ පුදා සත්කාර කළහොත් මට කළා වූ සත්කාර හා සම ම ය”යි වදාළ සේක.

එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ මෙපවත් කොසොල් රජ්ජුරුවන් ආදිවූ හැමදෙනාට කියා එ වේලෙහි ම ජේතවනයෙහි දොරටුව ගාවා ආවාටයක් කනවා භූමිමණ්ඩල ය විසිතුරු කොට සරහා එ වේලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ කරා ගොස් “ස්වාමීනි! ජයශ්‍රී මහා බෝධියට ගොස් ඵලශාඛාවක් අපට ගෙනවුත් දුන මැනැවැ”යි ආරාධනා කළ සේක.

එ වේලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ හැම රජ පිරිස් බල බලා සිටියදී “මා යන නියාවත්, ඵලශාඛාව ගෙනෙන නියාවත්, හැමදෙනාට ම පෙනේව”යි අධිෂ්ඨාන කොට ලා ආකාශයට පැන නැගිලා බෝධිමණ්ඩලයට වැඩ නටුයෙන් ගිලිහී එන ඵලශාඛාවක් බිම හිය නො දී ආකාශයෙහිදී ම සඟළසිවුරුපටින් පිළිගෙන නැවත එ කෙණෙහි ම අවුදින් ආකාශයෙන් බැස අනඳ මහ තෙරුන් වහන්සේට දුන් සේක.

අනඳ මහතෙරුන් වහන්සේ දොහොතින් පිළිගෙන කොසොල් මහරජ්ජුරුවන් අතට දී “මහරජ! තොපගේ ස්වහස්තයෙන්ම බෝධි ප්‍රතිෂ්ඨාව කරව”යි වදාළ සේක. රජ්ජුරුවෝ ඒ ශාඛාව රුවන් කරඬුයෙන් පිළිගෙන ඉස්මුදුනෙහි තබාගෙන ආවාටය වටා තුන් යලක් පැදකුණු කොට සිතන්නාහු “රාජ්‍යය නම් හැමදාම මට ස්ථිර ව නියමයෙක් නැත. එසේ හෙයින් අනික් රජෙක් මතු ඇති වී නම් මා අතින් පිහිටුවූ බෝධියට ආදර නො කෙරෙයි. සිටුවරු නම් මහපොළොව වැනියහ. අනේපිඬු මහ සිටාණන් අතින් පිහිටුවමි”යි සිතාලා “සිටාණෙනි! තොප අතින් පිහිටුව ව”යි උන් අතට දුන්හ. එ වේලෙහි ලක්‍ෂයක් අගනා ඝනරන් තලියෙක ගඳ කළල් පුරා යට සිදුරු කොට වළ මැද පිහිටුවා ඒ ඵලශාඛාව සිටාණෝ තමන් ස්වහස්තයෙන් ගඳකලලට වඩාලූහ.

එ කෙණෙහි සියලු සතුන් බල බලා සිටියදී පොළොව පලා පැන නැගියා වූ දිව්‍යනාගරාජයකු සේ මහ නගුලිසක් සා දලුවෙක් ඵලශාඛා පලාගෙන බුදුන් රහතුන්ගේ අධිෂ්ඨාන බලයෙන් හා රජ්ජුරුවන් ගේ සිටාණන්ගේ ශ්‍රද්ධා කුශල බලයෙන් පැන නැංගා වූ ඒ බෝධිය වැඩි වැඩි මහත් වෙමින් සම සිළුටු වූ මහ රිදී කඳක් සේ පනස් රියන් උස මහ කඳෙක් නැගී එතෙනදී පනස් පනස් රියන් දිග ශාඛා පසෙක් ඒ ඒ දිගට බෙදී වනස්පති වෘක්‍ෂ රාජකු සේ සිටගත. එහි ඉන්‍ද්‍රනීල මාණික්‍ය වැනි පත්‍රසමූහයෙන් හා, ප්‍රවාලාඞ්කුර වැනි අභනව පල්ලවාඞ්කුරයෙන් හා, සුරක්ත වූ ඵල සමූහයෙන් හා, එම විගස ම ශෝභාසම්පන්න විය.

ඒ මහා බොධියෙහි මුල පටන් අග දක්වා සියක් රියන. පූර්ව ශාඛාග්‍රෙයහි පටන් පශ්චිම ශාඛාග්‍රයට සියක් රියන. උත්තරශාඛාග්‍රෙයහි පටන් දක්‍ෂිණ ශාඛාග්‍රයට සියක් රියන් උසය. ශාඛාමණ්ඩලය තුන්සියක් රියන. මාගේ ස්වාමිදරුවන්ගේ අපරිමිත පුණ්‍ය ප්‍රභාවයෙන් ජනිත වූ මේ බෝධීන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය පෙළහර දැක සත්කෙළක් පමණ මනුෂ්‍යයන් වසන ඒ සා සැවැත් නුවර සක් රුවන් පහළ වූ දා හැළලි ගිය චක්‍රවර්ති සේනාව සේ ඉතා විස්මයට පැමිණ මහත් වූ පූජා උත්සව කළහ. සාධුකාර දෙන්නවුන් කෙකෙත් දහස් ගණනැ යි කියම් ද? නොයෙක් පූජාභාණ්ඩ ගෙන අත්පොළසන් දිදී ඔල්වරසන් දෙන්නවුන් කෙතෙක් දහස් ගණනැයි කියම් ද? අසුරුසන් දිදී නට නටා ඇවිදනවුන් කෙතෙකැ යි කියම් ද? පිළි ඉස සිසාරා උමතු ව නටන්නවුන් කෙතෙක් දහස් ගණනැ යි කියම් ද? නොයෙක් පූජාභාණ්ඩ ගෙන වෙහෙරට දිවන්නවුන් කෙතෙක් දහස් ගණනැ යි කියම් ද? ඒ සා වෙහෙර අවකාශයක් නැති හෙයින් වාසල් දොරටුයෙන් වැද යා නොහී ගැහැටි ගැහැටී සිටිනා සත්ත්‍වයන් කෙතෙක් ලක්‍ෂගණනැ යි කියම් ද? මාගේ ස්වාමිදරුවෝ එම දා ම බුදු වූ සේක් දෝ හෝ යි සිතමි. එම දා ම පෙළහර පෑ සේක් දෝ හෝ යි සිතමි. එම දා ම ලොව විස්මය පත් කළ සේක් දෝ හෝයි සිතමි.

මෙසේ ආශ්චර්‍ය්‍ය වූ වේලෙහි කොසොල් රජ්ජුරුවන් හා, අනේපිඬු මහසිටාණන් හා, විශාඛා මහාඋපාසිකාවන් හා, බන්‍ධුල මල්ලිකාවන් හා, කෝසල මල්ලිකාවන් හා, වාසභ ඛත්තියාවන් හා යනාදි බුදුන් කෙරෙහි ප්‍රසන්න වූ ස්ත්‍රී පුරුෂයෝ බොහෝ දෙනා ඒ බෝධිය සිසාරා සිටගෙන සත්රුවන්මය බෝධිකොටුවක් කරවා ඇතුළෙහි සත්රුවන් සුන්නෙන් තනා වේදිකාව සිසාරා රන් පැන රිදී පැන-රන්කලස-රිදීකලස තනා මළුව වරා රුවන් මෙහෙයෙන් ම විසිතුරු වූ පවුරු නිමවා, සත්රුවන්මය වූ දොරටු කරවා ඝනරන් දොර ලවා මාලකයෙහි ද රුවන් වැලි ඉස්වා, වටා රකවල් ලවා, සියලු සතුන්ගේ චිත්තානන්‍දනය කොට පැන නැගි හෙයින් ද, ආනන්‍දස්ථවිරයන් වහන්සේගේ නියෝගයෙන් කළ හෙයින් දැ යි මේ ආනන්‍ද මහා බෝධි ය යි නම් තබා දවස් පතා තමන් තමන්ගෙන් පූජා කරන සේ නියෝග කොට එ දවස් නො යෙක් පූජා කොට බුදුන් වැඳ සිටියහ.

එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ ගොසින් බුදුන් වැඳලා “ස්වාමි දරුවාණෙනි! නුඹගේ මහිම අද පටන් නුඹ වදාළ මැනැවැ යි නැත. අද පටන් මේ ආනන්‍ද බෝධිය ම ලෝකානන්‍ද කොට ලෝවැඩ කෙරෙයි. ඒ බෝධියට සත්ත්‍වයන් කළා වූ සත්කාරය ඉතා උදාර ය. නුඹවහන්සේ ද ඒ ආනන්‍ද බෝධිය පිටලා වැඩහිඳ බෝමැඩ වජ්‍රාසනයෙහි ශ්‍රී මහා බෝධිමූලයෙහි දී නුඹවහන්සේ වන් සමවත් සමවැද වදාළ මැනැවැ”යි ආරාධනා කළ සේක. ස්වාමිදරුවෝ එබසට සිනා පහළ කොට ආනන්‍දය කුමක් කියව් ද, බෝමැඩ දී මා අවන් සමවත් සමවදිනට සුදුසු වූ අනික් භූමියෙක් අනන්තාපරියන්ත සක්වළ වේවා, මෙ මගුල්සක්වළ වේවා බඹලෝ ආදියෙහි වේව යි කිසි තැනෙකත් නැත්ම ය, ඇතකු ධරාලූ සැත් වටු කුරුල්ලොත් ධරාලිය හෙද්දැ”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහතෙරුන් වහන්සේ තමන්වහන්සේ බුදුන් කෙරේ ඉතා වල්ලභහෙයින් “එසේ වී නම් ස්වාමීනි! ඒ භූමිය පොහෝනා පමණක් සමවත් සමවැද එ බෝකඳට පිටලා වැඩහිඳ ඒ භූමිය පාරිභෝගික කොට වදාළ සේක.”

එ වේලෙහි ස්වාමිදරුවෝ ඒ බෝධිමූලයට වැඩ එ බෝකඳට පිටලා පූර්වදිග් බලා වැඩහිඳ එදා රෑ තුන්යම රාත්‍රිය මුළුල්ලෙහි එ තෙන සමවත් සුවයෙන් දවස් යැවූ සේක. එතැන් පටන් ජේතවනාරාම ය බුදුන නැති විටත් ඇත්තා සේ ම විය. ඒ ආනන්‍ද බෝධියට දවස් පතා ලක්‍ෂයක් පරිත්‍යාග කොට කරන ලද්දා වූ උදාර වූ පූජා වී ය.

මෙසේ තමන් වහන්සේ එක දවසක් පමණ පිට දුන්නා වූ බෝකඳ උදෙසා පවා මේ මහත් වූ පාරිභෝගික පූජා ලත් හෙයිනුත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ ස්වාමි දරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක.

බන්ධුල මල්ලිකාවෝ

තව ද: මෙම සැවැත් නුවර තුණුරුවන් කෙරෙහි පැහැදියවුන් කෙරෙහි අන්තර්ගත වූ යට කී බන්ධුල මල්ලිකාවෝ නම් කවර? යත්;

ඔහු තුමූ බන්‍ධුල නම් සේනාපතීන්ගේ භාර්‍ය්‍යාවෝ ය. ඒ බන්‍ධුල සේනාපති නම් කුසිනාරා නුවර මල්ලරජහුගේ බූනැනියන් පුත් බෑනනුවහ. මේ සා මුළු දඹදිව් තෙලෙහි ඒ බන්ධුල සේනාපතීන්ට වඩා පඤ්චායුධයෙහි දක්‍ෂ වූ ශූර යෝධයෙක් නැත්තේමය. බාලකල මයිල් රජ්ජුරුවන් තමන්ගේ බල බලමි යි සිතා තමන්ට නො කියා යනාරාව සැටක් කරවා සැට පුරුක් ඇති උණදඬු සැටක් යට ඒ යනාරාව ලා එසේ ම සැට සැට දඬින් සැටමිටියක් බඳවා රාජාඞ්ගනයෙහි සිටුවා තමන් කැඳවා “බැහැන! තෙලෙ හුණමිටිසැට එක එක පහරින් කඩුයෙන් පොලුගෙණපු නම් මාගේ මේ මල්ලිකා නම් දියණියන් තොපගේ බැදෑනියන් තොපට ම පාවා දෙමි. නැත අනික් රජක්හට පාවා දෙමි”යි කී වේලෙහි යට ය නාරා ච ඔව් නො දැන මයිලනුවන් මුහුණ බලා සිනා සී “මෙයිත් එක් ආශ්චර්‍ය්‍යයෙකැ යි සිතූ සේක් ද? ඇත් බඳත් වී නමුත් මාගේ කඩු පත මැද රඳවම් දැ? යි වාසි කියා කඩුව කොපුයෙන් හයාගෙන කඩුව මඳක් චිත්‍ර කොට අහසට අසූරියන් දමා රජපිරිස ‘කඩුව අප හිස වැටී යේ දෝ අපහිස වැටී යේ දෝ හෝ’යි වෙවුල වෙවුලා සිටි වේලෙහි කඩුව තමන් අත එලවාගෙන කඩුව චිත්‍ර දක්වාලා.

“ස්වාමීනි! මේ සැට මිටි ය සැට පහරින් ගැසීම් නම් ඒ ආශ්චර්‍ය්‍ය නො වෙයි. සැටපුරුක සැට සැට පහරින් පොලු ගන්මි”යි කියා පලඟය හා සමග ගරුඬ පෝතකයකු සේ ආකාශයට පැන නැගීලා අගපුරුකෙහි පටන් සුරතින් පාරක් ගසා සැටපුරුකක් වගුරුවා පියති. මෙසේ සැට විටෙකින් සැට පාරක් ගසා සැට සැට පොල්ලක් බැගින් අලමදන් සේ ගසා යනාරාච හා සමග රාජාඞ්ගනයෙහි විසුරුවා මෙසේ ම සැට මිටිය ම ගසා අන්ත පහරෙහි දී කඩුව යනාරාචයෙහි වැදගෙන කඩුව බැණ නැගි හඬින් හුණ පුරුක් යට බලා යනාරාච ඇද “ඉදින් මා ගසාගත නුහුනහොත් මේ සා පරිභවයක් බොහෝදෙනා මධ්‍යයෙහි මට කළ සේ නොයෙදෙයි. මාගේ බලදැන දැන පරීක්‍ෂා කළ සේ නො යෙදෙයි” කියා මයිලණුවන්ට කිපී ඉතා මහත් වූ අභිමාන කොට “නුඹ වසන නුවර මම නො රඳමි යි අද ම අනික් රටකට යෙමි”යි මල්ලිකා නම් ඒ බැදෑ කුමරිය මයිලනුවන් බල බලා සිටියදී අත අල්වා හයාගෙන එම විට ම නුවරින් නික්මුණාහ. මයිල් රජ්ජුරුවෝ වේව යි සෙසු යෝධ කෙනෙක් වේව යි බන්‍ධුලයන් රඳවාගත හුනු එක ද සත්ත්‍වයෙක් නැත.

කොසොල් රජුගේ බන්‍ධු සමානත්‍වය

ඒ බන්‍ධුලයෝ පසේනදි කොසොල් රජ්ජුරුවන් හා බාල කල එක පල්ලියෙහි දී ශිල්ප උගත්තා වූ විශ්වාසයෙන් සැවැත් නුවර ගොස් කෝසලයන් දුටහ. කෝසලයෝ බන්‍ධුලයන් දැක ඉතා සතුටු ව “තොප වැනි යහළුවකු මා ලත් බැවින් මෙයින් මතු මුළු දඹදිව මාගේ ම ය”යි ගර්ජනා කොට බන්‍ධුලයන්ට සේනාපති ධුරය දී තමන්ට දෙවනු ව සම්පත් දුන්හ. බන්‍ධුලයන් එ නුවරට ගිය තැන් පටන් මුළු දඹදිව රජදරුවෝ ම කෝසලයන් කෙරෙහි භය ඇති වූහ. එ කල මල්ලිකාවෝ බන්‍ධුලයන්ගේ භාර්‍ය්‍යාවන් හෙයින් බන්‍ධුල මල්ලිකා නම් වෙති.

ඌ තුමූ ත් විශාඛාවන් සේ ම ඇතුන් පස් දෙනෙකුට බල ඇතියහ, විශාඛාවන් සේ ම මේල පළඳනා ඇතිය, විශාඛාවන් සේ ම සැදෑ ඇති ව විහාරයට දවස තුන්වාරයෙක එළඹී බණ අසා දන් පින්කොට බුදුන් කෙරෙහි ඉතා වල්ලභයහ. ඒ බන්‍ධුල මල්ලිකාවෝ තුමූ වඳයහ. එසේ හෙයින් බන්‍ධුල සේනාපති “මා සේ ම බල ඇති පුතකු වදා දෙන ස්ත්‍රියක රක්‍ෂාකරනු කැමැත්තෙමි. තී වඳ පව් ඇති තැනැත්තිය මට නො කැමැත්තේ යයි තීගේ මවුපියන්ගේ නුවරට ම පලා ය”යි කියා ගෙන් නෙරියාහු ය.

එ වේලෙහි බන්‍ධුල මල්ලිකාවෝ තමන් ඉතා මහත් සැදෑ ඇති හෙයිනුත් බුදුන් එම නුවර වසන හෙයිනුත් මවුපියන්ගේ ගමට යාමට වඩා එම නුවර ම හිඳිනා කැමැති ව ගෙන් නික්මිලා “මාගේ බුදුරජාණන් වහන්සේට සැලකොට ඔබ වදාළොත් යෙමි. නොවදාළොත් නො යෙමි”යි සිතා ජේතවනාරාමයට ගොස් පිරිවර හා සමඟ වැඩහුන් බුදුන් දැක වැඳ “ස්වාමීනි! මාගේ මවුපියන්ගේ රටට යෙමි”යි දැන්වූහ. එ බසට බුදුහු “මල්ලිකාව! කුමක් නිසා යෙයි දැ”යි වදාළ සේක. ස්වාමීනි! සමණන් වහන්සේ මා ගෙන් නෙරනා සේකැ යි කීහ. බුදුහු “මල්ලිකාව! කුමක් නිසා ගෙන් නෙරිද්දැ”යි වදාළ සේක. මල්ලිකාවෝ ද “ස්වාමීනි! මා වඳ හෙයින් අනික් ශරණක් ගෙනෙමි යි කියා ගෙන් නෙරීති”යි කීහ.

එ වේලෙහි බුදුහු දිවසින් පරීක්‍ෂාකොට මල්ලිකාවන් වඳ නො වන සේ දැක “මල්ලිකාව! බන්‍ධුල සේනාපති තී වඳ ය යි කියා ගෙන් නෙරිත් නම් තී නො ගොස් ආ පස්සේ ගෙට ම පලා යා”යි වදාළ සේක. එ වේලෙහි මල්ලිකාවෝ සමාධි ව ගෙට ගියහ. සේනාපති “කුමක් නිසා ආ පස්සේ අවුදැ”යි විචාරා “බුදුහු මා නොයන්ට වදාළ සේක. එසේ හෙයින් ආයිමි”යි කී කල්හි බුදුහු නම් නොකාරණයෙහි බසක් නො වදාරණ සේක. එසේ හෙයින් ඒකාන්තයෙන් මල්ලිකාවනට දරුකෙනකුන් ඇත මනා ම ය. මාගේ අභිමතාර්ථය සිද්ධ වේ ම ය” යි සතුටු ව එදා පටන් දෙදෙන ම ඔවුනොවුන් හා සමග පියවාසය කෙරෙති.

නොබෝ දවසකින් මල්ලිකාවෝ දරු ගැබකට කාරණ දැක සමණන් තමන් වඳ ය යි නෙරපු හෙයින් “මෝහට බැරි වූ දොළක් කියා මෝහට නින්‍දා කොට වෙසෙමි”යි සිතා සමණන් කරා ගොස් “හිමි, මට දරුදොළක් උපන. පෙර නුඹ මා වඳ ය යි කියා මට එකාවනුව බණන්නේ වේ ද, පිරිමි වූයේ නම් දැන් මට උපන් දරු දොළ පසිඳ දීලුව මැනව. විශාලා මහනුවර ලිච්ඡවී රජුන් සත් දහස් සත්සිය සත්දෙනා හා ඔවුන්ගේ බිසෝවරුන් පමණක් බැස දියකෙළිනා වූ සෙසු සත්ත්‍වකෙනෙකුන් බැස එ පැනෙයි අත ගාපිය නොහැක්කා වූ ආකාශයෙහි ලෝදැල් වසා තිබෙන පවුරු වාසලින් සුරක්‍ෂිත වූ මඟුල් පොකුණෙන් බලයෙන් ම බැස නහා පැන් බොනු කැමැත්තෙමි. එ දොළ පසිඳ දීලූයේ නම් නුඹ හා සම වූ කායබල ඇති නීබුන් පුතුන් දෙදනකු එකවිට ම වදන කාරණයක් දිටිමි”යි කීහ.

එ බසට බන්‍ධුල සේනාපති සිනාසී ඇකයේ සැකයක් නැති ව අත් ගසා “සොඳුර තිට උපන්නේ ඉතා ම මට සුවකම් වූ දොළෙක. හිමාලයෙහි හෝ ශක්‍රභවනයෙහි දිව්‍ය වූ පොකුණෙකින් නා පැන් බොනු කැමැත්තෙමි යි නො කියා, හිරු සඳු දෙදෙනා මිණිකොඬොල් කරනු කැමැත්තෙමි යි නො කියා, අහසෙන් වලා කැමැත්තෙමි යි නොකියා, අභ්‍යන්තරයෙන් අඹ කැමැත්තෙමි යි නොකියා, ඡද්දන්ත ඇතු දළ කැමැත්තෙමි යි නො කියා, විධුරයන් සේ ම මහා පණ්ඩිතයක්හු හදවත කැමැත්තෙමි යි නො කියා, මේ මිනිස්ලොව ම, මේ දඹදිව ම, මා සේ ම පුරුෂයන් නානා මඟුල් පොකුණෙන් බැස නහන්නා කැමැත්තෙමි යි තොප කී සේ මැනැව අද ම එ නුවර ගොස් තොපගේ දොළ පසිඳ දී ලම් ම ය. මාගේ පිරිමි බල බලව”යි වාසි කියාලා “රජ්ජුරුවන්ට කීම් නම් රජ්ජුරුවෝ තුමූ හෝ නමා ගනිති. සත් කෙළක් පමණ තමන්ගේ බල සෙනඟ හෝ මා හා සමග එවති. එසේ ගිය කල මාගේ බල නො දැනෙයි. රජ්ජුරුවන්ට නො කියා ම, මම් ම යෙමි”යි සිතාලා එම විට ම මල්ලිකාවන් කැඳවා ගෙන අසුන් යෙදූ රථයක් නැගිලා දහසක් පුරුෂයන් නඟාලන බාලන තමන්ගේ දුන්න හා හියවුර ඇරගෙන කඩුව වම්දසරුවෙහි ලාගෙන එකලාව ම එම දා උදාසන සැවැත්නුවරින් නික්ම සිවුපනස් යොදුන් මඟ ගෙවා ලිච්ඡවි රජදරුවන් හා සියලු නුවරවාසීන් දවල් බත් කෑමෙන් ප්‍රමාද වූ වේලෙහි විශාලා මහනුවර වාසලට පැමිණ “මා ආ බවට සලකුණක් කෙරෙමි”යි සිතාලා රථසක මුළු නුවරට ඇසෙන සේ වාසල් එළියෙහි ගසාගෙන ඇතුළු නුවරට වැද ගියහ. රථ නැගී වදනවුන් සිය දහස් ගණන් හෙයින් බන්‍ධුලයන් බව දත්තා වූ එක ද කෙනෙකුන් නැත.

එ නුවර මහාලී නම් ලිච්ඡවී රජ්ජුරුවෝ බන්‍ධුල සේනාපතීන් හා එක පල්ලියෙහි ශිල්ප හදාළහ. එසේ හෙයින් බන්‍ධුලයන්ගේ බල දනිති. එ කලට ඒ මහාලී ලිච්ඡවී රජ්ජුරුවෝ ඇස් අන්‍ධ ව වාසලට නුදුරු වූ මාලිගාවෙක හිඳ සෙසු රජ්ජුරුවන්ට අවවාද දී වාසය කරන්නාහු ය. එ වේලෙහි ඒ රථයක බැණ නැගි හඬ අසා “මේ ඝෝෂාව අනිකකු නැගි රථසක් ඝෝෂාවක් නො වෙයි. ඒකාන්තයෙන් ම බන්‍ධුලයා නැගි රථසක හඬ ම ය. බන්‍ධුලයා මේ නුවරට දැන් වන් ම ය. බන්‍ධුලයා නො කරුණෙක නො ඒ ම ය. ඒකාන්තයෙන් ම අද ලිච්ඡවි රජුන්ට භයෙක් වේ ම ය”යි සිතූහ.

එ වේලෙහි බන්‍ධුල සේනාපති කිසි භයක් නැති ව ශක්‍රපුරයට වන් අසුරභටයකු සේ ඒ සියලු රජුන් බැස නානා මඟුල් පොකුණට ගොස් කඩුපතින් භය ගන්වා රකවලුන් ඒ ඒ දිග ලුහුබඳවා සීරැස් කැලයක් පොලුගසන්නා සේ ලෝදැල් කඩුයෙන් කපා වගුරුවා පළමුකොට තුමූ බැස කා පියා දෙවනු ව අඹුවන් බස්වා නහවා පැන් දොවා මහනෙල් මල් පළඳවා එම විගස ම රථයට පැන නැගීලා මහ වේමැදින් නික්ම වාසලින් පිටත් ව සැවැත් නුවර දිසාවට ම නමා ගත්හ.

එ කෙණෙහි මෙ පවත් රකවුල්න අතින් අසා ලිච්ඡවී රජ දරුවෝ දණ්ඩෙන් ගැසූ නයින් සේ කිපී හැම දෙන ම මහාලී නම් ලිච්ඡවී රජ්ජුරුවන් කරා ගොස් මෙ පවත් කියා “බන්‍ධුල ය, අප මෙතෙක් දෙනා මුහුණ දැලි ගා මේ සා පරිභවයක් කොට ලා ගියේ ය. ඔහු පසු පස්සෙහි දිවගෙන ගොස් ඔහුගේ ඉස ගෙනා කල මුත් බත් කමෝ දැ”යි සහාසික ව ඔවුනොවුන් අතුරෙන් පන්සියයක් ලිච්ඡවී රජදරුවෝ සන්නාහසන්නද්ධ ව පඤ්චායුධ ගෙන පන්සියයක් රථ පැන නැඟී තමා ගත්හ.

එ වේලෙහි මහාලී නම් ලිච්ඡවී රජ්ජුරුවෝ “දරුවෙනි! තෙලෙ තොප කරන්නේ කටයුත්තෙක් නො වෙයි. මේ මුළු දඹදිව් තෙලෙහි බන්‍ධුල යා ජයගෙන පියන යෝධයෙක් නැත්තේ මය. බන්‍ධුලයාගේ සැර ය නම් පර්වතයෙකත් ගත් නම් මැද නො රඳා ම ය. එක සැරපහරකින් තොප පන්සියය ම ජයගෙන පියත් පොහොසත් මය. දරුවෙනි! නොයව. නො යව”යි කියා රැඳවූහ. ඔහු එ බසට “ඒ පිරිමි ද. අපි ගෑණු ද ඒ කිරි පී ද, අපි මෝරු පුමෝ ද ඔහුගේ එක සැර ය දැඩි ද, අපගේ මෙ තෙක් සැර නො දැඩි ද, ඒ දුනුශිල්ප දත් ද, අපි දුනුශිල්ප නො දනුමෝ ද” යනාදීන් වාසි කියා නො නැවත නමා ගත්හ.

එ වේලෙහි මහාලී නම් ලිච්ඡවී රජ්ජුරුවෝ නො යෙක් සේ කියා රඳවාගත නොහී “දරුවෙනි! තොප නො නැවත යන බැවින් බන්ධුලයා යන රථය යම් තෙනක දී දුටු නම් මඳ තැනක් දිවු කල ඔහුගේ රථය පොළොව ගිලී ගොස් සියල්ල ම නො පෙනෙයි. ඒ අනිකෙක් නො වෙයි. තොප දැක කිපී ඔහු දුන්න නඟන වේලෙහි රථය බිම ගැලී සැඟවී ගිය නියාව ය. මේ කාරණය දුටු කල ආ පස්සෙහි පලා එව. තව ද නො නැවත ගියා නම් මඳ ඇසිල්ලෙකින් සෙණ හඬක් සේ ඇසෙයි. ඒ ඔහු තමාගේ දුනුදිය අත් පොළාපි හඬ ය. ඒ සලකුණෙන් නො ගොසින් ආ පස්සේ පලා එව. එයින් තව ද නො නැවත ගියා නම් තොප තොප නැඟි රිය හිස්වල සිදුරු දකුව. එ වේලෙහි තොප හැමදෙනා ම විත් කෑ නියා ය. එ සලකුණෙන් මළම්හ යි සිතාගෙන ආ පස්සේ පලා එව”යි කීහ. රජදරුවෝ එසේ කීවත් නො නැවත ම “බන්‍ධුලයා ගනුමෝ ම ය” යි ව සි කියා කියා පසු පස්සෙහි ලුහුබඳවා ගත්හ.

එ කල බන්‍ධුල සේනාපති තුමූ රථය පදිනාහු “පස්සෙහි සතුරු කෙනෙකුන් එත් නුමුත් බලා දුටු දෙයක් මට කියව”යි මල්ලිකාවන්ට කීහ. මල්ලිකාවෝ පස්සෙහි පන්සියයක් රථ නැඟී දිවන පන්සියයක් රජුන් දැක “ස්වාමීනි! රථ සමූහයෙක් පෙනෙයි, නුඹ හා යුද්ධයට සතුරු කෙනකුන් එන ආකාරය ය”යි කීහ. බන්‍ධුල සේනාපති එ බසට සරු නැති ව ඒ දිශාව නො බලා “එක රථයක් සේ ඇද නැති ව එන වේලෙහි මට කියාලව”යි කීහ. මඳ ඇසිල්ලෙකින් සමීප වත් වත් පන්සියයක් රථ ඇද නැතිව ම එකපෙළ සිටගත. එ වේලෙහි මල්ලිකාවෝ “ස්වාමීනි! පළමු ව එන රථය පෙනෙයි. සෙසු රථ හැම ම එකරථයෙන් මුවා ව ගියේ ය”යි කීහ. එ වේලෙහි සේනාපති “එසේ වී නම් තෙපි භය නො කොට මේ රෑන අල්වාගෙන රථය පදුව”යි කියාලා තුමූ දහසක් නඟාලන දුන්න හැරගෙන රථයෙහි පසු කෙළවර දුනු මුද්ධාව ඔබාලා දුන්න නඟාපීය. එ කෙණෙහි රථය පොළොව ගැලී ගිය. රජ දරුවෝ මේ කාරණය දැකත් නො නැවත දිවෙත් ම ය. දෙවනු ව දුනු දිය අත් පොළාපීහ. එ කෙණෙහි සෙණහඬක් සේ ඇසී ගිය. තව ද නො නැවත දිවෙත් ම ය. තුන්වනුව හියවුරෙන් එක් දණ්ඩක් හයාගෙන ඇද මැඩ නියපිට ලෙලවාපියා පගිලියෙහි ලාගෙන උර පුරාලා ඇද අත හැරපීය. එ කෙණෙහි ඒ දිවු සැරය කිහිරි හරින් කළ පන්සියයක් පමණ රථ හිස් විදගෙන, පන්සියයක් සන්නාහ විදගෙන පන්සියයක් රජුන්ගේ ලෙන් විද පිටින් පළා ගොස් පොළොවට අසූරියනක් පමණ වැද සැඟවී ගි ය.

රජදරුවෝ සන්නාහබලයෙන් තමන් විත් කෑ බවු නො දැන “නො ය නො ය බන්‍ධුලය! තෝ යෝධයෙක් නම් සටන් දැක පිටිපෑ දිවේද, අපගේ හා තාගේ හා බල බලම්හ”යි වාසි කියා හඬ නෑහ. බන්‍ධුලයෝ ඒ හඬ අසා සිනාසී “කොල! කුමක් කියා ද, ශූරයෝධයෝ නම් ගෑනුන් හා ත් සටන් නො කෙරෙති. නිරායුධ ව සිටිය වුන් හා ත් සටන් නො කෙරෙති. විත් කෙටුම් කෑවන් හා ත් සටන් නො කෙරෙති. මළ මිනී හා කැල ම සටන් නො කෙරෙති. තොප දැන් මළවුන් හා කුමන සටන් කෙරෙම් දැ”යි හඬගා කීහ.

එ බසට රජදරුවෝ සිනා සී “අප දැක මරණ භයින් නන් දොඩවයි ද, මළ මිනිස්සු ත් අප සේ කතා කෙරෙද්දැ”යි කීහ. බන්‍ධුලයෝ “කොලෙනි! තොපට සැරයක් හැරපීව. ඒ සැරයෙන් තෙපි හැම ම විත් කෑහ. මා කී බස් නො ගිවිසී නම් තොප තොපගේ රථ හිස්වල සිදුරු බලව. එසේ ත් නො ගිවිසි නනම් නෙත්තියෙහි එන රජ්ජුරුවන් හා සෙස්සෙහි එන රජ්ජුරුවන් හා දෙදෙනාගේ සන්නාහ මුදා බලව. ඔහු දෙදෙන මළාහු නම් තෙපි හැමදෙනත් මළාහු ම ය. එ සලකුණෙන් තොප තොපගේ ගෙවලට පලා ගොස් අඹුදරුවන්ට කළමනා අනුශාසනා කොට යෙහෙන් සෙමෙන් මිය යව”යි කීහ. එ වේලෙහි රජදරුවෝ රිය හිස්වල සිදුරු බලා දැක පසු පළමු රජ දෙදෙනා සන්නාහ මුදා මළ සේ දැක භය ගෙන ආ පස්සෙහි නුවරට ගොස් ගෙයි ගෙයි දී ම කීවා සේ ම මළාහු ය. බන්‍ධුල සේනාපති ද එම දා ම සැවැත් නුවරට වන්හ.

එ තැන් පටන් දස මසක් පිරුණු කල බන්‍ධුල මල්ලිකාවෝ එකවිට ම ඔවුනො‘වුන් හැඳිනගත නො හැකි රන් රූ සේ පුතුන් දෙදෙනකු වැදූහ. එ තැන් පටන් හවුරුදු පතා ම යමක යමක කොට නිමුන් පුතුන් වදන්නාහු සොළොස් හවුරුද්දක් ඇතුළත පුතුන් දෙතිසක් වැදූහ. ඒ පුත්තු දෙතිස ම නිරෝගී වූහ. බන්‍ධුල සේනාපතීන් හා සම වූ කායබල රූපශ්‍රී ඇතියහ. පුතුන් දෙතිස් දෙනා හා සමග සේනාපතීන් සිටි කල පුතුන් කා බවත් සේනාපතීන් කා බවත් නො දන්නෝ දැනගත නො හෙති. සේනාපතින්ගේ දහසක් පමණ සේවකයෝ ඇත. පුතුන් දෙතිස් දෙනාගේ ද දහස් දහස් බැගින් දෙතිස් දහසක් සේවකයෝ ඇත. පූර්වයෙහි තමන් දෙමහල්ලන් ම බොරු නො කිවා වූ කුශලයෙන් ද, ඔබළතුන්ට සැරයටි දන් දුන් කුශලයෙන් ද, මහණ බමුණන් දැක සිත පහදවා දුටු සේ මැනැවැ යි සිත සිතා ත්‍රිවිධ වූ චේතනාව පිරිසුදු කොට දන් දුන්නා වූ කුශලයෙන් ද, පිරිසිදු වූ සම වූ මේ සා දරු සිරි ලද්දාහු ය.

තව ද: ඒ බන්‍ධුල මල්ලිකාවෝ පෙර ජාතියෙහි තමන් දන් දුන්නා වූ එක් අටපිරිකර දානයක්හුගේ කුශලයෙන් මේ ජාතියෙහි මේල පලඳනාව ලදින් අප මහා ගෞතම බුදුන් දැක බණ අසා සෝවාන් ව බුදුන් කෙරෙහි ඉතා වල්ලභ වූහ. බුදුන්ගේ නියෝගයෙන් සිය නුවරට නො ගොස් නැවත ගෙට ආ පසු වැදූ දරුවන් හෙයින් බුදුන් කෙරෙහි අති ප්‍රසන්න ව මෙතෙක් දරුවන් හා සමග දෙමහල්ලෝ ම දවස දවස වෙහෙරට එළඹ දවස දවස බුදුන්ට මහත් වූ සත්කාර කොට ඒ ආනන්‍ද බෝධියට ද මහත් වූ පූජා කොට බොහෝ පින් රැස් කළාහු ය.

මෙසේ තමන් වහන්සේ කෙරෙහි පහන් වඩ වඩාලා පහදවා ඔවුන් විසින් කරන ලද මහත් වූ සත්කාර ලත් හෙයිනුත් එසේ වූ සත්කාර ලැබීමට සුදුසු හෙයිනුත්, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක.

තව ද: මෙසේ මෙසේ වූ බුදුන් කෙරෙහි කොසොල් රජ්ජුරුවන් බන්‍ධු සමාන ව විශ්වාසී වූ පරිදි කෙසේ ද? යත්;

කොසොල් රජ්ජුරුවෝ රජගෙට නුදුරු වූ තැන භෝජන ශාලාවක් කරවා පන්සියයක් දෙනා වහන්සේට නිති දන්දෙන්නාහු ය. රාජනියෝගයෙන් මහාදානය දෙන බව මුත් භික්‍ෂූන් වහන්සේට විශ්වාසයෙන් ප්‍රේම සහිත ව වළඳවාලන්නා වූ සත්ත්‍වයෝ නැත. එසේ හෙයින් ඒ භික්‍ෂූන්වහන්සේ රජගෙයි බත් පාත්‍රාවලින් පිළිගෙන තමන් තමන් වහන්සේගේ විශ්වාස උපාසක-උපාසිකාවරුන්ගේ ගෙවලට වඩනා සේක. ඔහු හැමදෙනා ම තමන් තමන්ගේ කුලුපග වූ ඒ ඒ භික්‍ෂූන් වහන්සේ දැක පෙරමගට අවුදින් පාත්‍රා අතින් ගෙන ගෙට වඩාගෙන ගොස් ආසන එලවා හිඳුවා රජගෙන් ගෙනා බත් කොමු වී නම්, සහල් වී නම්, කිලුටු වී නම්, මඳ මඳ නපුරෙක් වී නම්, පළමු කොට බලා එ බත් හැර තමන් තමන්ට පිසූ බත් හෝ වළඳවාලති. එ බත් යහපත් වී නම්, ව්‍යඤ්ජන මඳ වී නම්, තමන් තමන්ගෙන් සූප ව්‍යඤ්ජන ලා වළඳවාලති. එසේ ත් කොට ගත නොහෙන දුක්පත් වූ උපාසක උපාසිකාවරු අසුන් පනවා දැවිටිදඬු පැන් ආදිය සපයා මහත් වූ දයා ඇති ව අප දුක්පත් සේ ය යි කිය කියා විශ්වාස පරමයෙන් වළඳවාලති. එසේ හෙයින් රජගෙන් දන් ලත් පන්සියක් දෙනා වහන්සේ ම එ බත් විශ්වාසයන්ගේ ගෙවලට ගොස් මෙසේ මෙසේ සුව සේ වළඳන සේක් ම ය.

එක් දවසෙක රජ්ජුරුවෝ අමුතු වූ පඬුරක් ලදින් “මේ සංඝයා වහන්සේ වළඳවා ලව”යි කියාලා භෝජන ශාලාවට යව්වාහු ය. භෝජන ශාලාවෙහි එ වේලෙහි එක කෙනකුන් වහන්සේත් නො දැක අමාත්‍යයෝ එ පවත් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ “සංඝයා වහන්සේ මාගේ බත් කොයි හිඳ වළඳන සේක්දැ”යි විචාරා “තමන් තමන් වහන්සේගේ විශ්වාස ගෙවල දී වළඳන සේකැ”යි අසා “මාගේ දන් සෙසු ගෙවල දී වළඳන්ට කාරණ කවරේදැ”යි භික්‍ෂූන් වහන්සේට කිපී එම විට ම බුදුන් කරා දිවගෙන ගොස් බුදුන් දැක වැඳ එකත්පස් ව සිට “ස්වාමීනි! නුඹවහන්සේගේ ශාසනගත වූ භික්‍ෂූහු ඉතා අමධ්‍යස්ථයහ. මා වැනි රජක්හුගෙන් දෙන අග්‍ර වූ දානය මාගේ ගෙයි දී නො වළඳා සෙසු ගෙවල දී වළඳන්නාහු ය. ඒ අමධ්‍යස්ථකම් වේ ද, දානයෙන් උතුම් කවරේ දැ”යි විචාළහ. බුදුහු “මහරජ! දානය නම් විශ්වාසය උතුම් කොට ඇතියේ ය. තොපගේ දානය මධුර බව මුත් විශ්වාසය නැත. සෙස්සවුන්ගේ දානය අමධුර වුවත් විශ්වාසය මධුර ය. යම් කෙනෙක් හුළුකැන් මාත්‍රාවකුත් විශ්වාසය උතුම් කොට ආදරයෙන් දෙන්නාහු වූ නම් ඒ දානය උතුම් ම ය”යි වදාළ සේක. “ස්වාමීනි! භික්‍ෂූන් වහන්සේ විශ්වාස කොට ගන්නේ කෙසේදැ”යි විචාළහ. බුදුහු “මහරජ! මාර්ගඵල ලද්දා වූ සේඛකුලෙහි ඇත්තන් කෙරෙහි හා නෑයන් කෙරෙහි භික්‍ෂූහු අති විශ්වාසයක”යි වදාළ සේක.

එ වේලෙහි රජ්ජුරුවෝ බුදුන් වැඳ රජගෙට ගොස් “බුදුන් හා නෑ වීම් නම් හැම භික්‍ෂූහු මා කෙරෙහි විශ්වාසී වෙති. බුදුන් හා නෑ වන උපදේශයක් කෙරෙමි”යි සිතාලා තමන් එ කලට දඹදිවට අධිපති හෙයිනුත් තමන්ට වඩා බල ඇති අනික් රජක්හු නැති හෙයිනුත් “ශාක්‍යකුලයෙන් ශරණක්, ගුණෙන් වේ ව යි නුගුණෙන් වේ ව යි ගෙන්වමි”යි සිතාලා එ කලට ශුද්ධෝදන රජ්ජුරුවන් නැති ව බුදුන් හා දෙබෑයන් දරු වූ අනුරුද්ධ මහතෙරුන් වහන්සේගේ බෑනන් මහානාම නම් ශාක්‍ය රජ්ජුරුවන් ශාක්‍ය කුලයට අධිපති ව රාජ්‍යය කරන හෙයින් උන්ට බොහෝ පඬුරු යවා “තමන්ගෙන් දරුකෙනකුන් මට ශරණ එවන්නේ ය යි ශාක්‍යකුලයට නෑ වනු කැමැත්තෙමි” යි කියා යවුවාහු ය.

ශාක්‍යකුලයෙහි රජදරුවන් නම් උභයකුල පරිශුද්ධ හෙයිනුත් මහාමානී හෙයිනුත් අනික් රාජවංශයක් හා තමන් නෑ නො වන හෙයිනුත් මහානාම නම් ශාක්‍ය රජ්ජුරුවෝ දූතයන්ගේ බස් අසා සිතන්නාහු “කොසොල් රජහු කලකිරවා අප මෙහි වැසගත නො හැක්ක. එ තෙමේ මහා බල ඇතියේ ය. ශරණක් නුදුන්නෝතින් එ රජ අපට වෛරී වෙයි. දුනෝතිනුත් ජාතිසම්භේද වෙයි. ශරණ දුන ත් මැනව. නුදුනත් මැනැවැ”යි සිතාලා තමන්ගේ මහා මුණ්ඩී නම් දාසිය කුසින් උපන් තමන්ට ම දා වූ වාසභ ඛත්තියා නම් සොළොස් හැවිරිදි දූව දෙවඟනක සේ සරහාලා “මාගේ දියණියන් ගෙන යව”යි දූතයන්ට කීහ.

දූතයෝ සිතන්නාහු “මේ ශාක්‍යයෝ නම් මහා මායම් දනිති. සෙසු රජක්හට ශාක්‍යකුලයෙන් ශරණක් පෙර නුදුන් විරූහ. ඔවුනොවුන් හා මන්ත්‍රණයක් කළහ. බාධාවක් නො කියා ම පාවා දුන්හ. කිමෙක්දෝ හෝ යම් තමන්ගේ කෙල්ලකගේ දරුකොට වැඩූදුවක මායම් කියා පාවා දෙද්දෝ”යි සිතා “මේ ශාක්‍යයෝ නම් තමන් දිවි සේ නමුත් නො තරම් කෙනකුන් හා කැටි ව නො කත්මය”යි දැන “ස්වාමීනි! අපගේ රජ්ජුරුවන් වහන්සේ කෙරෙහි භය ඇතියම්හ. නුඹවහන්සේගේ දියණියන් හා කැටිව කෑ සේක් වී නම් ගෙන යම්හ. නැත සැක ඇතියම්හ”යි කීහ.

එ බසට රජ්ජුරුවෝ “යහපත! තොප දැක්කදී ම කැටිවත් කමි”යි කියාලා දූතයන් බල බලා සිටිය දී මා අමාත්‍යයන්ට මායමක් උගන්වාලා එ වේලෙහි පාවාඩය පිට හිඳගෙන දරුවන් සරහා බත්කන්ට ගෙනෙව”යි කීහ. එ වේලෙහි අමාත්‍යයෝ වාසභ ඛත්තිකාව මහපෙළහරින් වඩාගෙන ගොස් රජ්ජුරුවන් හා එක පාවාඩයේ හිඳුවාලූහ. එ වේලෙහි රජ්ජුරුවෝ දුව ඉස අතගා පියා “පුත! තොප කොසොල් රජ්ජුරුවන්ට යවමි. එතෙකින් කවර දවසෙක දකිම්දැ”යි බොරු සනාවක් කියා බොරු කඳුළක් ගෙන පියා “පුතණ්ඩ! බත් කව”යි කියාලා වාසභ ඛත්තිකාව බතට අත පොවාලූ වේලෙහි ඈ බත් අත නො ගානා තුරු තුමූ පළමු කොට බත් පිඩක් අතට ඇරගෙන බත්පිඩ වටා කට තුබූහ. එ කෙණෙහි ආදි ම උගන්වාලූ අමාත්‍යයා බොරුපතක් ගෙන අවුදින් රජ්ජුරුවන් වමතට පත දීලා “ස්වාමීනි! පසල් දනව්වෙහි සිට දූතයෙක් ආන ආනා ඇඟින් ඩා කඳු වගුර වගුරා ගෙන වහ වහා දිව අවුදින් “මෙ පත වහා ස්වාමීන්ට පෑල” යි කීහ. ඒ කෙසේ වූ ඉක්මන් මෙහෙවරක් බවත් නො දැනෙයි. මේ නිමව නිමවා හිඳ තෙලෙ පත අසුන් බලා වදාළ මැනැවැ”යි කීය. එ වේලෙහි රජ්ජුරුවෝ “පුතණ්ඩ! තෙපි බත් කව”යි කියා දෙවනු ව බතෙහි අත නො ගා වමතින් පත අල්වාගෙන, පත් අසුන් බල බලා එහි අමුතු කම්පා උපදව උපදවා වාසභඛත්තිකාව බත් කා නිමන තුරු අමුතු කථාවෙන් දවස් යවා එම සංසලයෙහි දෙවනු ව බත් කෑවා සේ අතකට සෝදා පීහ. වාසභඛත්තිකාවෝ බත් කෑවාහු ම ය.

දූතයෝ එ වේලෙහි මේ සොරකම් දැනගත නොහී කැටුව ම කෑහ යි යන සිතින් සැක හැරපියා බොහෝ සානුමානයෙන් වාසභඛත්තිකාවන් සැවැත් නුවර ගෙන ගොස් කොසොල් රජ්ජුරුවන්ට පාවා දී මෙ පවත් කීවාහුය. කොසොල් රජ්ජුරුවෝ අතුරු නො දැන මිතුරුබැව්හි සතුටු ව මුළුනුවර දිව්‍යපුරයක් සේ සරහා මහත් වූ මඟුලෙන් වාසභඛත්තිකාව අගමෙහෙසින් කළහ.

නොබෝ කලෙකින් ඒ වාසභඛත්තිකාවෝ රජ්ජුරුවන්ට පුතකු වැදූහ. ඒ කුමරහු උපන් වේලෙහි රජ්ජුරුවෝ අමාත්‍යයකු කැඳවා “වාසභඛත්තිකාවන් මට පුතණු කෙනෙකුන් වැදූ නියාව මාගේ මෑණියන් වහන්සේට සැලකරව”යි කියා යවූහ. එ වේලෙහි ඒ ඇමැති දිව දිව ගොස් එ පවත් කී ය. මෑණියෝ එ පවත් අසා “වාසභඛත්තිකාව මෙ තැන් පටන් ම පුතනුවෝ කෙරෙහි වල්ලභ ය”යි කියා ඕහට මඟුල් ප්‍රසාද දුන්. ඒ ඇමැති තමාගේ කණ මඳක් මාහඬු හෙයින් වල්ලභ ය යි කී බස වරදවා අසා “විඩූඩහ නමැයි වදාළ සේකැ”යි රජ්ජුරුවන්ට ගොස් කීය. රජ්ජුරුවෝ එ බස් අසා “මාගේ මෑණියන් වහන්සේ කීයේ මාගේ රාජවංශයෙහි ප්‍රවේණි ගත ව තිබී ආ නමෙක් වනැ”යි සිතා “අද පටන් ම පිත් විඩූඩහ නමැ”යි නම් දුන්හ. එ තැන් පටන් වාසභඛත්තිකාවෝ ඉතා ශ්‍රීමත් වූහ. අනුන්ට දාසී ව සිට බුදුන් නිසා මේ බඳු වූ රජක් හට අගමෙහෙසින් වීමි යි දවස දවස බුදුන් කෙරෙහි මහත් වූ ආදර කොට අතිප්‍රසන්න වූහ. කොසොල් රජ්ජුරුවෝ ද එතැන් පටන් බුදුන් කෙරෙහි අතිශ්‍රද්ධා ඇති ව විශ්වාස පරම ව දන් දී ආනන්‍ද බෝධි ආදියෙහි මහත් වූ පූජා කොට පින් රැස් කළහ.

මෙසේ තමන් වහන්සේ කෙරෙහි විශ්වාස වූ සත්ත්‍වයන් අති විශ්වාස කරවා මහත් වූ සත්කාර ලත් හෙයිනුත්, එසේ වූ සත්කාර පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක.

කෝසල මල්ලිකාවෝ

තව ද: එම රජහුගේ අගමෙහෙසින් වූ කෝසල මල්ලිකා දේවීන්ගේ උත්පත්ති කථාව නම් කවර? යත්;

එම සැවැත් නුවර පන්සියයක් මාලාකාරයන්ට නායක වූ මාලාකාර ජ්‍යෙෂ්ඨයකුගේ දුවක් දෙවඟනක බඳු වූ රූ ඇත්තී ය. රජක් හට අග බිසෝ වන රූ ඇත්තී ය. උතුම් වූ ස්ත්‍රීලක්‍ෂණ ඇත්තී ය. ඕතොමෝ සොළොස් හැවිරිදි අවස්ථාවෙහි පැසක් අතින් ගෙන මල්වත්තට මල් කඩා යන්නී කොමු පිඩු තුනක් හැරගෙන ඒ මල් කඩන පැසෙහි ලා ගෙන මල්වත්තෙහි දී කමි යි සිතාලා ඇතුළු නුවරින් පිටත් වලා කුඩා කෙල්ලන් ගණනක් හා සමග යමින් සිටියා ය.

එ කල කරුණානිධාන වූ මාගේ බුදුරජාණන් වහන්සේ අරුණෝද්ගමන වේලෙහි “අද කවර ස්ත්‍රී පුරුෂයක්හට ශක්‍රසම්පත් බ්‍රහ්මසම්පත් මාරසම්පත් සිටුසම්පත් රජසම්පත් දෙවාලම් දෝ හෝ”යි බලා වදාරා මේ කුමාරිකාවට එදා වන අභිවෘද්ධියක් දැක ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ ආදි වූ පන්සියයක් පමණ ශ්‍රාවක ගණයා පිරිවරා සවණක් රසින් දිලිහි දිලිහී වැඩ ඒ කුමාරිකාව අභිමුඛයෙහි පෙනී ගියහ. එ වේලෙහි ඕතොමෝ බුද්ධාලම්බන ප්‍රීතින් මත් ව “බුදුන්ට කුමක් පිළිගන්වාපියම් දේ හෝ”යි සිතා අනික් කිසි දෙයක් නො දැක තමාගේ පැස තුබූ කොමුපිඬු තුනට අතට හැරගෙන “බුදුහු මේ පිළිගන්නා සේක් දෝ හෝ යි නො පිළිගන්නා සේක් දෝ හෝ” යි සිත සිතා භය ඇති ව නැමි නැමී ළඟට ගියා ය.

එ වේලෙහි ස්වාමිදරුවෝ ඈ කෙරෙහි කළා වූ මහා කරුණාවෙන් මරම් රජුන් විසින් දෙන ලද ශෛලපාත්‍රධාතුව නමා පැලූ සේක. එ වේලෙහි ඒ කුමාරිකාව කොමුපිඬු තුන පිළිගන්වාලා මඬල බල බලා සතුටු සතුටු ව සඳරස් දුටු කෞමදයන් සේ පින පිනා සිටියා ය. එ වේලෙහි බුදුහු සිටියාවූ කුමාරිකාව දැක ඈට එම දා ම වන වැඩක් දැක “මාගේ ශාසනයෙහි මතු මෝතොමෝ ඉතා වල්ලභවෙයි” සිතා සිනාවක් පහළ කළ සේක.

බුදුන්ගේත් සිනා ඇද්දැ යි යතහොත්; සෙසු සත්ත්‍වයන් සේ හඬගා වේව යි කට දල්වා වේව යි බුදුන්ගේ සිනා නැත. බුදුන්ගේ සිනාවක් උදෙසා ලෝවැඩකට කාරණයෙක් ඇත් නම් එ වේලෙහි සිනාවක් පහළ කෙරෙයි සිතා වදාළ කල එකෙණෙහි “කිරි මුහුදින් දිවු මහ රළ සතරක් සේ, ප්‍රවාල සාගරයෙන් ඉස් නගා නික්මුණා වූ හැළි වූ දිව්‍යනාගරාජයන් සතරදෙනකු සේ, බුදුන්ගේ සතර දන්ත ධාතුයෙන් තනයෙකින් දිවූ කිරිපිහිරි සතරක් සේ සුදු බුදුරස් කඳ සතරෙක් පිටත් ව ශ්‍රී මුඛය තුන් තුන් වාරයෙහි ආවර්තනය කොට දොළොස් මඬුල්ලක් දක්වාලා ‘අනවතප්තයෙන් දිවු සතරමහා ගංගාව තුන් තුන් වාරයෙහි විල පැදකුණු කොට ඒ ඒ දිගින් දිවුවා සේ’ මාගේ සර්වඥ නමැති මහා අනවතප්තයෙන් දිවූ බුදුරස්කඳ සතර සතරදිගින් ගොස් අහස්කුස පැන නැඟී සක්වළ ගබ පුරා අකනිටා බඹලොව ගැසී නැවත බුදුන් කරා ම දිව අවුදින් ‘රජුගේ නියෝගයෙන් ඒ ඒ දිග්හි දිව ගිය ගිය දෙස පරසතුරන් ජයගෙන නැවත අවුදින් රජුගේ ගෙට වදිනා සතර මහා යෝධයන් සේ, ඒ බුදුරස් කඳ සතර ද ස්වාමිදරුවන්ගේ ශ්‍රී මුඛයට ම වැද අන්තර්ධාන වෙයි. මේ ආකාරයෙන් භික්‍ෂූහු “බුදුහු සිනා පහළ කළ සේකැ”යි දනිති. එ වේලෙහිත් ස්වාමි දරුවෝ ඒ කුමාරිකාව මුහුණ බලා මෙසේ ම සිනා පහළකොට වදාළ සේක.

එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ “ස්වාමීනි! බුදුහු නම් අකාරණයෙක සිනා නො පහළ කරන සේක. කවර කාරණයෙකින් සිනා පහළ කළ සේක් දැ”යි විචාළ සේක. එ වේලෙහි ස්වාමිදරුවෝ “ආනන්‍දය! මේ කුමාරිකාව මට මේ දුන්නා වූ කොමුපිඬු දානයාගේ විපාකයෙන් අද සවස මෙම නුවර කොසොල් රජ හට අගමෙහෙසින් බිසෝ වෙයි. මේ කාරණය සිතා සිනා පහළ කෙළෙමි”යි වදාරා ඇතුළු නුවර සිඟා වන් සේක.

එ වේලෙහි කුමාරිකාවෝ බුදුන් වදාළ තෙපුල් අසා “බුදුහු නම් ඒකාන්ත තෙපුල් ඇති සේක. කිමෙක් දෝ හෝ රජ්ජුරුවන් අද වකට මෙනුවර ත් නැති වුව. කෙසේ වූ විස්මයක් දෝ හෝ”යි සිත සිතා මල්වත්තට පලා ගොස් “රජුට අගමෙහෙසින් වෙති”යි කී බසට මත් ව හඬගා ගී කිය කියා මල් කඩන්නී ය.

පසේනදි කොසොල් රජ්ජුරුවන් පියාණන් මහකොසොල් රජ්ජුරුවන් දියණියෝ රජගහා නුවර බිම්සර රජ්ජුරුවන් කෙරේ වැස අජාසත් කුමරු වැදූහ. අජාසත් කුමර දෙවිදතුන්ගේ අසත්පුරුෂ සමවායයෙන් පියරජහු මරා රජය ගත. මහකොසොල් රජ්ජුරුවෝ දියණියන්ට දායාද පිණිස දෙනුවරට අතුරෙහි සැවැත් නුවරට හිමි දනව්වක් දුන්හ. පසුව පසේනදි කොසොල් රජ්ජුරුවෝ “සුහුරබන්‍ධුනුවන් මැරූහ”යි බෑණනුවන් කෙරෙහි කළ කෝපයෙන් නැඟනියන් සතු දනව්ව නමා ගත්හ. අජාසත්කුමර එ පවත් අසා තමා ත් මහබල ඇති හෙයින් ඒ දනව්වෙහි අය බලාත්කාරයෙන් ගෙන්වයි. කොසොල් රජ්ජුරුවෝත් බල සෙනඟ යවා බලාත්කාරයෙන් ගෙන්වති. එ කල දෙමයිල් රජුන්ගේ මහා යුද්ධයෙක් විය. සමහර දවසෙක අජාසත් කුමර පැරද පලා යෙයි. සමහර දවසෙක කෝසල රජ්ජුරුවෝ පැරද පලා යෙති. එ දවස් ද කෝසල රජ්ජුරුවෝ මහසෙන් සමග ගොස් බෑනනුවන් හා යුද්ධ කළහ.

ඒ අජාසත් කුමර උක්කුටිකයෙන් හිඳ අටළොස් රියන් පැන පියන බල ඇතියේ ය. කඩුව හා සමඟ මහ අඩනයක්[88] අතින් හැරගෙන කෙළින් සිට අසූරියනක් පැනපියන බල ඇතියේ ය. එසේ හෙයින් මයිල් රජහට තමාගේ බල පවිමි යි සිතාලා කඩුව හා අඩනය ගෙන කොසොල් සෙනඟ මැදට පැන කෙහෙල්කඳ පොලුගන්නා සේ මයිල් රජහුගේ බලයෝධයන් සිය දහස් ගණන් පොලු ගෙන පී ය. එ වේලෙහි සත්කෙළක් පමණ ඇති මහ කොසොල් සෙනඟ රජ්ජුරුවන් නො බලා ම ගිය ගිය අත බිඳී දිවපීහ. කොසොල් රජ්ජුරුවෝ ද අසකු පිටට පැන නැඟීලා සැවැත්නුවරට ම දිව එන්නාහු ඒ මල්වත්තෙහි අඬගා ගී කිය කියා මල් කඩන ඒ කුමාරිකාවගේ ශබ්දය අසා ඇගේ පින්බලයෙන් ම ඈ කෙරෙහි ලෝභ උපදවා අසුපිටින් ම ඒ මල්වත්තට දිව ඈ සිටි තෙනට ම ගොස් වැද ගියහ.

එ වේලෙහි කුමාරිකාවෝ රජ්ජුරුවනුත් හැඳිනලා බුදුන් වදාළ වචනයත් සඳහන් කොටලා “ඒකාන්තයෙන් අද මේ රජහුට අග මෙහෙසින් වෙම් ම ය”යි සිත සිතා රජහු කෙරෙහි භය නො කොට පැන පලා නො ගොසින් සිනා සිසී වැඳ සිට අසුගේ කඩියාලම අත ගසාලා අසු අල්වාගත. එවේලෙහි රජ්ජුරුවෝ “තෝ කවරෙක්හි දැ”යි විචාරා “මම මාලාකාර දුවකිමි”යි කීකල “අස්වාමිකයෙහි ද, සස්වාමිකයෙහි දැ”යි විචාරා “අස්වාමිකයෙමි”යි කී කල අසුපිටින් බැස “අස්පිටින් දිව විඩායෙමි. මඳක් නිදාපියනු කැමැත්තෙමි. මඳක් තෝ මෙසේ වැදහිඳැ”යි කියාලා ඇගේ ඇකයේ හිස තබාගෙන සැකයක් නැතිව ම මඳකලක් සැතපී විඩා සන්හිඳුවා ගෙන නැගී සිට එම අසුපිට ඒ කුමාරිකාවන් හිඳුවා ගෙන රජගෙට පලාගොස් නැවත ඈ දෙමවුපියන්ගේ ගෙට ම යවා එ වේලෙහි ම මඟුල් රථය යවා මවුපියන්ට බොහෝ සත්කාර කොට ඇය රජ පෙළහරින් ගෙන්වාගෙන බොහෝදෙනා මධ්‍යයෙහි රුවන්ගොඩක් පිට සිටුවා අභිෂේක කොට අගමෙහෙසින් කළහ.

ඒ කුමාරිකාවෝ මල්කඩන තෙන දී දුටු හෙයින් මල්ලිකා නම් ලදහ. කොසොල් රජහට අගමෙහෙසින් වූ හෙයින් කෝසල මල්ලිකා දේවි යයි මේ නමින් ප්‍රසිද්ධව පන්සියයක් පුර ස්ත්‍රීන්ට නායක වූ රජ්ජුරුවන්ට ප්‍රිය ව මන වඩා වසන්නාහු බුදුන් නිසා තමන් අගමෙහෙසින් වූ බව තමන් ම දන්නා හෙයින් තුණුරුවන් කෙරෙහි මහත් වූ සැදෑ ඇතියහ. දවස් පතා දහස්ගණන් පරිත්‍යාග කොට ආනන්‍දබෝධි ආදියෙහි මහත් වූ පූජා කරවා බොහෝ වූ පින් රැස් කළාහු ම ය.

මෙසේ තමන් වහන්සේ දැක සිත පහදවා කොමුපිඩක් පමණ දන් දීලු මාලාකාර දූන්ට පවා එම දා මෙසේ අගමෙහෙසින් තනතුරු දෙවා බුදුබල පෑ ඔවුන් විසින් කරන ලද මහත් වූ පූජා සත්කාර ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වනසේක.

උත්පලගන්ධ සිටාණන් කළ ප්‍රතිපත්ති පූජා

තව ද: එම සැවැත් නුවර උත්පලගන්‍ධ නම් සිටාණන් කළ ප්‍රතිපත්ති පූජා නම් කවර? යත්;

මෙයට කප් ලක්‍ෂයෙකින් යට පියුමතුරා නම් බුදුන් සමයෙහි එක් දිළිඳු වූ උපාසක කෙනෙක් තුණුරුවන් කෙරෙහි පැහැද ගොස් බණ අසන දවසෙක බණ අස අසා ධර්මාලම්බන ප්‍රීතින් මත්ව සාධුකාර දුන්හ. ඒ කුශල මූලයෙන් සතර අපාය ඇසින් නො දැක කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයෙහි ඇවිද නොයෙක් සියදහස් ගණන් වාරයෙහි ශක්‍ර සම්පත්, චක්‍රවර්ති සම්පත් ආදි වූ නොයෙක් දිව්‍ය මනුෂ්‍ය සම්පත් අනුභව කොට අප බුදුන් සමයෙහි මෙම කොසොල් රජහුගේ සැවැත් නුවර සතළිස් කෙළක් පමණ ඇති ඇති සිටු කුලයෙක උපන්හ. ඔවුන් බැන නැඟි කල මුඛයෙන් දිවු මහනෙල්මල් සුවඳ ගේ කුස පුරාගෙන ද්වාරාන්තරයෙන් පිටතට නික්මෙයි. එසේ හෙයින් ඔහු උත්පලගන්‍ධ නම් සිටානෝ ය යි මෙනමින් ප්‍රසිද්ධ වූහ.

කලෙකින් ඒ සිටාණෝ බුදුන් කරා ගොස් බණ අසනුයේ ගිහිගෙයි ආදීනව හා බුදුසසුන් වැද මහණවීමෙහි අට මහා විපාක අසා ගිහිගෙයි කලකිරුම් ඇතිව සතළිස් කෙළක් පමණෂන හා සිටු සැපත හැරපියා සසුන් වැද මහණ ව නොබෝ දවසෙකින් විදර්ශනා වඩා රහත් ව, එතැන් පටන් උත්පලගන්ධ මහ තෙරුන්වහන්සේ ය යි මෙ නමින් ප්‍රසිද්ධ ව බුදුසසුන් නමැති මහා සරසියෙහි පැන නැඟී ප්‍රබුද්ධ වූ උත්පල රාජ්‍යයක් සේ ඉතා ශෝභාවත් වූ සේක.

එ කල පසේනදි කොසොල් රජ්ජුරුවෝ සිටාණන් මහණ වූ බවු අසා “අස්වාමික භාණ්ඩු නම් රාජසන්තක ය” යි කියා සිටාණන්ගේ සිටු සැපතත් ගෙන්වාගෙන උන්ගේ අග්‍ර වූ සිටුදියණියන් අසාධාරණ වූ රූ ඇති හෙයින් තමන් ගේ අන්තඃපුරයට ගෙන්වා ගත්හ. එ කල පන්සියයක් පමණ මහනෙල් මල් කලබ් ගෙනවුත් මාලාකාරයෝ රජ්ජුරුවන්ට දුන්හ. රජ්ජුරුවෝ පිරිවරා සිටි ඒ සිටුදියණියන් ආදි වූ පන්සියයක් පුර ස්ත්‍රීන්ට දුන්හ. ඒ සිටුදියණියෝ තමන්ට දුන් මහනෙල්මල් කලබ අතින් ගෙන ආඝ්‍රාණය කොට මහනෙල්මල් සුවඳින් පූර්වයෙහි තමන්ගේ සිටාණන් සඳහන් කොට “මාගේ ප්‍රිය වල්ලභයාගේ මුඛ සුගන්‍ධය වනැ”යි සන්තුෂ්ට ව, ප්‍රීතීන් මත් ව, සිි එළවාගත නොහී ඉතා මහත් කොට සිනා සී දෙවනුව “එ වැනි මාගේ ස්වාමිහුගේ වියෝගයට පැමිණියෙමි” යි සිත සිතා ශෝක කරන්නී මහත් කොට හඬාපුව.

රජ්ජුරුවෝ මේ කාරණ දෙක ම දැක එ බිසොවුන් ළඟට කැඳවා “තී මා බල බලා හින්ද දී භය නැති ව සිනාසුනෙන් ඇයි ද, දෙවනු ව ඇඬුයෙත් ඇයි ද, මට නො සඟවා කිය”යි භය ගන්වා විචාළහ. එවේලෙහි බිසොවු “ස්වාමීනි! අනික් වරදක් නිසා සුනුයෙම්-ඇඬුයෙම් නො වෙමි. මාගේ පූර්වයෙහි රක්‍ෂා කළ ස්වාමිහුගේ මුඛයෙහි සුගන්‍ධ ය. මේ මහනෙල්මල් සුවඳ අසා සිහි කොට ඔබ කෙරේ ගත් ප්‍රේමයෙන් සිපීමි. ඔබගේ වියෝගයෙන් අඬාපීමි. අනික් සිතක් සිතුයෙම් නො වෙමි”යි කීහ. එ බසට රජ්ජුරුවෝ ‘තී කියන්නේ අනිකෙක් ම ය. මිනිසුන් මුඛයෙහි ත් මහනෙල්මල් ගඳ ඇද්දැ’යි කියා නො ගිවිස නැවත කිපියහ. බිසොවු තව ද භය නැති ව කියන්නාහු “මා කී බස් නො ගිවිස්නා සේක් වී නම් ඔබ දැන් බුදුන් කෙරේ මහණ ව දෙව්රම් වෙහෙර වැඩ වසන සේක. බණ කීමෙහි ඉතා දක්‍ෂ සේක. ඔබ අතින් බණ අසන කල ඔබ මුඛයෙන් හමන මහනෙල්මල් සුවඳ නො ඇසූ සේක් වී නම් පසුව මට කැමැති වධයක් කළ මැනැව”යි කීහ.

රජ්ජුරුවෝ එ වේලෙහි “ඈ කීයේ කාරණම ය”යි ගිවිස දෙවනදා උදාසන බුදුන් හා, ඒ උත්පලගන්‍ධ මහතෙරුන්වහන්සේ හා ඇතුළුව පන්සියයක් දෙනා වහන්සේ පවරාගෙන රජගෙට වඩාගෙන අවුත් වළඳා අන්තයෙහි රජගෙය කසායෙන් පිරිබඩ ගෙන සුවඳ බඩු පිටත් කරවා “සුවඳ මලක් නො ගෙන, නො පැළඳ, සුවඳ ඇඟ නොගල්වා, ඉස් ශෝධා නා හැම දෙන ම පිරුවට හැඳ බණ අසන්නට එව”යි සියලු නුවර වැසියන්ට නියෝග කොට, තුමූ ද එසේ ම සුවඳ ඇඟ නොගල්වා, සුවඳ මල් නො පැළඳ ශුද්ධසාටකයක් හැඳ යටිමාලෙහි ධර්මාසනයක් පනවා සිටියහ. එ වේලෙහි ස්වාමිදරුවෝ රජුගේ අදහස් දැන “රජ්ජුරුවන්ගේ ශඞ්කාව දුරු කෙරෙමි”යි සිතා සිතා උන්වහන්සේ කැඳවාලා “උත්පලගන්‍ධ ය! තාගේ පුරාණ දුතියිකාවගේ භය හරවා තෝ ම අද බණ කියව. මම තා අතින් බණ අසමි”යි වදාළ සේක.

එ වේලෙහි මහ තෙරුන් වහන්සේ බුදුන් වැඳ අවසර ඉල්වාගෙන සිංහරාජයක්හුගෙන් ප්‍රසාද ලත් අත්පොව්වකු සේ නිර්භීත ව ධර්මාසනයට පැන නැඟී තුන්යලක් නමස්කාරය කියා ධර්ම දේශනාවට පටන් ගත් සේක. එ කෙනෙහි මහ තෙරුන් වහන්සේ බැණ නැඟී බස හා සමග ම මුඛයෙන් නික්මුණා වූ මහනෙල්මල් සුවඳ හැම රජගෙයි යටිමාල පුරාගෙන මහදොරින් පවත් ව හමා බස්නට පටන්ගත. එවේලෙහි රජ්ජුරුවෝ ඉතා සන්තුෂ්ට ව බණ අසා අන්තයෙහි බුදුන් කරා ගොස් “ස්වාමිනි! මේ කෙසේ වූ විස්මයෙක් ද? මනුෂ්‍යයන්ගේ මුඛයෙන් මහනෙල්මල් සුවඳ හමා බස්නට කාරණ කිම් දැ”යි විචාළහ.

සද්ධම්මදෙසනා කාලෙ - සාධු සාධූ‘හි භාසතො

මුඛතො වායති ගන්‍ධො - උප්පලං‘ව යථොදකෙ-යි.

යන මේ ගාථාව වදාරා “මහරජ! මේ ස්ථවිරතෙම මෙතෙනට කප් ලක්‍ෂයකින් යට උපන් පියුමතුරා නම් බුදුන් සමයෙහි එක් දිළිඳු කුලයෙක ඉපැද බොහෝ සේ ධර්මමණ්ඩලයට ගොස් සැදෑ ඇති ව බණ අසයි. බණ අස අසා ඉඳ ධර්මාලම්බන ප්‍රීතින් බොහෝ සේ හැමදෙනාට පළමු පළමු ව සාධුකාර දිදි බණ ඇසී ය. ඒ කුසල මූලයෙන් කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි නරකාදි දුක් නො විඳ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයෙහි අප්‍රමාණ වූ ශ්‍රී සම්පත් ලදහ. මෙතුවක් කල් මුළුල්ලෙහි ම මහනෙල්මල් සුවඳ ගඳ මුව ලද, දැන් මාගේ මේ බුද්ධෝත්පාදයෙහි මේ සැවැත් නුවර ඉපැද, මාගේ සසුන් වැද මහණව, එම කුශල මූලයෙන් ම අමා මහ නිවන් දැක සංසාර සාගරයෙන් ගොඩට නැංගේ වේ ද”යි වදාරා රජ්ජුරුවන් ආදි වූ බොහෝ රජපිරිස සාධුකාර දෙවා බුද්ධාසනයෙන් පැනනැඟී ආර්‍ය්‍යගණයා පිරිවරා ජේතවනාරාමයට ම වැඩිසේක.

එ වේලෙහි රජ්ජුරුවෝ ඒ සිටුදේවීන් කැඳවා “තොප නිසා මට බොහෝ වවූ සද්ධර්මප්‍රීති වී ය”යි කියා එදා උන්ට ද බොහෝ සැපත් දී එතැන් පටන් තමන් කෙරෙහි වල්ලභ ස්ත්‍රී කළහ.

මෙසේ තමන් වහන්සේගේ සද්ධර්මප්‍රීතින් සාධුකාර දුන්නා වූ සත්‍වයන්ට පවා මේ සා නිවන් සැපතක් දී විශේෂ වූ සම්‍යක් ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත්, එසේ වූ ප්‍රතිපත්ති පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක.

අනඳ මහ තෙරුන් ලද සාටක පූජා

තව ද: මෙම සැවැත් නුවර දී අනඳ මහ තෙරුන් වහන්සේ ලද සාටක පූජා නම් කවර? යත්;

එක් සමයෙක කොසොල් රජ්ජුරුවන්ගේ පන්සියයක් බිසෝවරු දවස දවස වෙහෙරට ගොසින් බණ අසාගත නො හී රජ්ජුරුවන් කරා ගොස් “ස්වාමීනි! නුඹවහන්සේ දවසට තුන්වාරයෙක බුදුන් කරා ගොසින් බණ අසන සේක් ම ය. මේ නුවර විශාඛා ආදී වූ සෙසු ස්ත්‍රීහු ද සිත් සේ විහාරයට ගොස් බුදුන් දැක බණ අසා බොහෝ වූ පින් රැස්කරන්නාහු ම ය. අපි වනාහි නුඹවහන්සේගේ අන්තඃපුරයට සම්භ ව, සිත් සේ ගොස් බණ අසා පින් පුරා ගත නො හෙම්හ. මෙබඳු වූ නව වන බුද්ධෝත්පාද කාලයෙහි ඉපැද අසඞ්ඛ්‍යයක් කප් කාලයෙනුත් “බුදුහු ය” යන නාමමාත්‍රය ත් අසා පිය නොහැක්කා වූ ලොවුතුරා බුදුරජාණන් දිළිඳුන්ගේ දොර පෙනීගිය කප්රුකක් සේ මෙම නුවර සද්ධර්මශ්‍රීන් ශෝභමාන ව ලෝවැඩ කළ දී අපි දැන් මුහුදුමැදට වැද පිපාසායෙන් දුග් ගන්නාවුන් සේ, ආකාශයට නැඟී පවා ගැළවී යා නොහෙන ලිහිණියන් සේ, පොලොවට වැද පවා පිහිට නො ලබන්නවුන් සේ, ඉතා මහත් වූ අකුසල් ඇත්තම්හ. මැදිරියෙක වසන පක්‍ෂීන් සේ නිරන්තරයෙන් කිසිතෙනෙක ඇවිදගත නොහි කුසල්මග නොලදින් ඉතා මහත් වූ දුක් ගන්නවුන් වැන්නම්හ.

බුදුන් මධුරනාදයෙන් වදාරණ දහම් අසාගත නො හෙන හෙයින් කන් නැත්තවුන් වැන්නම්හ. තුණුරුවනින් එක රුවනක් දවස් පතා දැක්ක නො හෙන හෙයින් ඇස් නැත්තවුන් වැනියම්හ. බුදු ගුණයක් කියාගත නො හෙන හෙයින් දිව් නැත්තවුන් වැනියම්හ. සද්ධර්මප්‍රීතීන් මාර්ගඵලයක් නො ලබන හෙයින් සිත් නැත්තවුන් වැනියම්හ. බුදුන් කරා අප පයින් ගොස් බණ අසාගත නො හෙන හෙයින් පා නැත්තවුන් වැනියම්හ. දවස්පතා දැක වැඳගත නො හෙන හෙයින් පස්කඳ නැත්තවුන් වැනියම්හ. බණ අසා සිතු සිතූ දෑ පුදාගත නො හෙන හෙයින් ධන ඇතත් නැත්තවුන් වැනියම්හ. එසේ හෙයින් නුඹ වහන්සේ අපට මේ සා මහත් ශ්‍රී සම්පතක් දී වදාරතෝතිනුත් කොතෙක් ඓශ්වර්‍ය්‍ය ඇතත් පින් කොටගත නො හෙන හෙයින් අප විඳිනා දුක් නරක දුක් හා සමය යි සිතම්හ. ස්වාමිනි! නුඹ වහන්සේ අප කෙරෙහි විශේෂ වූ දයාවෙක් ඇත්තේ වී නම් දවස දවස වෙහෙරට යන කල අප හා සමග ගොස් බණ අසා හෝ වදාළ මැනැව. එසේ නො ගිවිස්නා සේක් වී නම් දවස් පතා අප බණ අසා ගන්නා ලෙසක් හෝ කොට වදාළ මැනැවැ”යි යාච්ඤා කළහ.

එ බසට රජ්ජුරුවෝ “ස්ත්‍රීන් හා සමග හැමවිට ම වෙහෙරට යෑම ඉතා පළිරෝධ ය. තොප ඇමට බණ අස්වන ලෙසක් කෙරෙමි”යි කියා බිසෝවරුන් සන්හිඳුවාලා එ නුවර මුළුල්ලෙහි දක්‍ෂ ව බණ කියන්නවුන් පරීක්‍ෂා කොට “ආගමධර වූ අනාගාමි වූ ඡත්තපාණි නම් උපාසක කෙනකුන් ඉතා බලවතැයි” එක් දවසක උයන දී බුදුන් අතින් ම අසා දැන උන් රජගෙට කැඳවාලා “ඡත්තපාණීනි! බුදුහු එක් දවසක් තොපගේ බොහෝ ගුණ මට වදාළ සේක. තොප ‘ආගමධරයක්හු’යි කියා ත් වදාළ සේක. ධර්ම කථිකයහ යි කියාත් වදාළ සේක. ආර්‍ය්‍ය පුද්ගලයහ යි කියාත් වදාළ සේක. මාගේ අන්තඃපුරයට අද පටන් දවස් පතා තෙපි ම බණ කියව”යි කීහ. ඡත්තපාණී එ බස් අසා කියන්නාහු “ස්වාමීනි! රජදරුවන්ගේ අන්තඃපුරයට බණ කීම් නම් අප සේ සුදුපිළී අඳිනා ගිහි පුද්ගලයන්ට සුදුසු නො වෙයි. තපස්චීවරයන්ට ම සුදුසු ය. ස්ත්‍රීහු නම් ගිහින් කෙරෙහි ආදර නො කෙරෙති, සිල්වතුන් කෙරෙහි භය ඇතියහ. එසේ හෙයින් බුදුන්ගෙන් එක්තරා එක් මහතෙර කෙනකුන් වහන්සේ ඉල්වා ගෙන දවස් පතා අන්තඃපුරයට බණ අස්වා වදාළ මැනැව. එසේකල බණ අසන්නවුන්ට ත් කියන්න වුන්ටත් වැඩ සෑදේ ම ය. තව ද: ශීලයෙහි පිහිටියවුන් අතින් බණ අසන්නාවූ විපාකත් බෙහෙවැ”යි කියා රජ්ජුරුවන් ගිවිස්වා තමන් ඇගින් ගළවා රජගෙන් ගියහ.

එ වේලෙහි රජ්ජුරුවෝ කාරණ ය යි ගිවිස පන්සියයක් බිසෝවරුන් කැඳවා “තොප හැමදෙනාට බණ වදාරණ පරිද්දෙන් එක් මහ තෙරකෙනකුන් වහන්සේ ඉල්වා බුදුන් කරා යෙම්. කවර මහතෙර කෙනකුන් වහන්සේ අතින් බණ අසනු කැමැතියා දැ”යි විචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත් වූ භාග්‍ය ඇතියාහු ම ය. තව ද: මධුර වූ කටහඬ ඇතිසේක. එසේ හෙයින් ස්ත්‍රී ජාතිය නම් ශබ්දයෙහි ලෝභ ය ඇතිවූවන් හෙයින් අනික් බසක් නො කියා එසේ වී නම් අපගේ ආයුෂ්මත් වූ අනඳ මහතෙරුන් වහන්සේ අතින් ම බණ අසනු කැමැත්තම්හ” යි කීහ.

එ වේලෙහි රජ්ජුරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ “ස්වාමීනි! මාගේ අන්තඃපුරවාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින් ම බණ අසනු කැමැතියහ. උන්වහන්සේ අන්තඃපුරයට බණ කියන පරිද්දෙන් අනුදැන වදාළ මැනැවැ”යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වන සේ දැක “මහරජ! තෝ නම් වට තැටියක් සේ, මඩෙහි ඉඳුවාලූ කීලයක් සේ, කැමැති පිටකට නමාගත හැකියෙහි ය. ආනන්‍දයෝ නම් සෝවාන්හ. එ බවු දැන උන් කෙරෙහි පරීක්‍ෂා ඇති වව. ආනන්දයෝ තාගේ පුරයට බණ කියන්ට සුදුස්සහ. තෝම සිහිපත් ඇති වව”යි රජ්ජුරුවන් අර ඉඳුවාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්දය! මේ කෝසලයාගේ අන්තඃපුරයට දවස් පතා ගොස් බණ කියව” වදාළ සේක. එ තැන් පටන් අනඳ මහතෙරුන් වහන්සේ පන්සියයක් බිසෝවරුන්ට දවස්පතා බණ වදාරා බොහෝ පින් රැස්කරවන සේක. උන්වහන්සේගේ මධුර වූ ශබ්දයෙහි හස්තීකාන්ත වීණාවෙහි ඇලුනා වූ ඇතින්නන් සේ, චිත්‍රලතා වෙනෙහි ලෝභි වූ දෙවඟනන් සේ, සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ ම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදූහ.

ස්ත්‍රීන් ගැබ් ගැනීම

ශබ්දය නිසාත් දරුගබ සිටී දැයි යත හොත් ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයෙක් ඇත. ඒ කෙසේද? යත්; ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නා ලෝකාස්වාදය රතිය නිසාත් දරු ගබ සිටි මය. පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරු ගබ සිටී ම ය. පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලූ පමණ අනුරාගයෙනුත් දරුගබ සිටී මය. පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙනුත් දරුගබ සිටී ම ය. පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළා වූ පමණකිනුත් දරුගබ සිටීමය. පුරුෂයන්ගේ ඉස්වක් භෝජනාදියෙහි අන්තර්ගත වූ අනුභවානුරාගය නිසාත් දරුගබ සිටීම ය, පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැළඳීමෙන් උපදනා වූ වස්ත්‍රානුරාගයෙනුත් දරුගබ සිටීම ය. මේඝ සෘතුවෙහි බලාකාවන් ගබ්ගන්නා හෙයින් වන සෘතුභේදානු රාගයෙනුත් දරුගබ සිටීම ය. පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළා වූ ශබ්දානුරාගයෙනුත් දරුගබ සිටීම ය. කීයේ මැයි මැනෝ

මෙථූනං තනුසංසග්ගො - නාභ්‍යාමනෙ දස්සනං,

ඝායනං සවණං පානං - පටිග්ගාහං තථා උතුඃ

නවහෙ‘තෙහි ඨානෙහි - ගබ්භං ගණ්හන්ති ඉත්‍ථියො-යි.

යනු හෙයින් බිසෝවරු ද එ කල අනඳ මහතෙරුන් වහන්සේගේ ශබ්දයෙහි අනුරාග කොට උන්වහන්සේ සේම එක් වැනි පන්සියයක් පුතුන් වැදුවාහු ය. එ කල බොහෝදෙන රජ්ජුරුවන් කරා ගොස් “නුඹවහන්සේගේ බිසෝවරුන් වැදූ දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති. අනඳ මහ තෙරුන් වහන්සේ හා එක්වැනිය”යි කියා, මිථ්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගතුවෝ එකාවනු රජ්ජුරුවන් ලජ්ජා කරවති. රජ්ජුරුවෝ ද එහි සැක කොට බුදුන් කරා ගොස් එ පවත් කීහ. ආදිම තාගේ තරම තට ම කීයෙම් වේ දැ යි වදාරා විනයෙහි කියාලූ ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ ශංකාව දුරුකොට වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්‍ෂමා කරවා “නුඹවහන්සේ කෙරෙහි මා ශඞ්කා ඉපද වූ වරදට මෙම දඬුවමැ”යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේට ම පාවාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියක් දෙන ම වැඩී අනඳ මහ තෙරුන් වහන්සේ කෙරේ ම මහණ ව රහත් වූහ.

තව ද: එක් දවසෙක කසී රටින් දහස් දහස් අගනා දහසක් පමණ කසීසළු රජ්ජුරුවන්ට ගෙනාහ. රජ්ජුරුවෝ ඒ දහසක් සළු බලා සතුටු ව ඉන් පන්සියයක් සළු පන්සියයක් බිසෝවරුන්ට දුන්හ. ඔහු තමන් ලද ඒ සළු පන්සියය එදා අනඳ මහ තෙරුන් වහන්සේ අතින් බණ අසා සතුටු ව එකවිටම පුදා පරණ සළු හැඳ රජ්ජුරුවන් මේ නිමවන තැනට ගොසින් සිටියහ. රජ්ජුරුවෝ “තොපට මා ඊයේ දුන් සළු නො හැඳ පරණ සළු හැඳගෙන හවුනැ”යි විචාළහ. බිසෝවරු “ස්වාමීනි! අපගේ අනඳ මහ තෙරුන් වහන්සේ අතින ්බණ අසා ඔබට ධර්මපූජා කොට පිළිගන්වා පූම්හ”යි කීහ. රජ්ජුරුවෝ විස්මය ව “ඒ පන්සියයක් සළු අනඳ මහතෙරුන් වහන්සේ ම ඇරගත් සේක් දැ”යි විචාරා “හැරගත් සේ කැ”යි කී කල “ඒකාන්තයෙන් මෙ තෙක් සළු ලදින් අනඳ මහතෙරුන් වහන්සේ පිළි වෙළඳාම් කරන සේක් දෝ හෝ යි සිතමි. බොහෝ ලාභ පිළිගැන්ම තපස්වීවරුන්ට සුදුසු නො වෙ”යි කියා තෙරුන් වහන්සේට කිපී මේ නිමවා අන්තයෙහි අත දිය නොසිඳෙන තුරු විහාරයට දිවගෙන ගොස් බුදුන් කරා නො ගොස් තෙරුන් වහන්සේගේ පිරිවෙනට වැද තෙරුන් වහන්සේ වැඳලා එකත්පස්ව හිඳ “ස්වාමීනි! අපගේ බිසෝවරු නුඹවහන්සේගෙන් බණ උගනිත් ද් දැ”යි විචාළහ. තෙරුන් වහන්සේ “මහරජ උගත යුත්තක් උගණිති. ඇසිය යුත්තක් අසති”යි වදාළ සේක.

තව ද: රජ්ජුරුවෝ මායමින් විචාරන්නාහු “කිමෙක්ද? ස්වාමීනි! ඒ ස්ත්‍රීහු නුඹවහන්සේගේ ඵාසු අඵාසු විචාරද් ද? හඳනා පොරෝනා චීවර සාටක දෙද් ද? නො දෙද් දැ”යි විචාළහ. එ වේලෙහි තෙරුන්වහන්සේ “දෙති මහරජ! ඊයේ සවස අප අතින් බණ අසා පන්සියයක් සළු දන් දුන්නාහුය”යි වදාළ සේක. හැම ම නුඹ වහන්සේ ම පිළිගත් සේක් දැ යි විචාළහ. “මහරජ! පිළිගතිමි”යි වදාළ සේක. බුදුන් විසින් එක් භික්‍ෂු කෙනකුන්ට තුන් සිවුරෙක්ම අනුදන්නා ලද්දේ වේ ද, අතිරේක ලාභය ඉවසූයේ ඇයි දැ”යි විචාළහ. “මහරජ! බුදුන් විසින් අනුභෝග වසයෙන් තුන් සිවුරක් ම අනුදන්නා ලද ම ය. කෙතෙක් ලාභ ත් පිළිගැනීම වසයෙන් නො වළකන ලද ය. යම් යම් භික්‍ෂු කෙනකුන්ගේ උත්තරීතර වූ භාග වසයෙන් දෙන්නවුන්ගේ සිත් පමණ හා ලාභීන්ගේ සිත් පමණ ලාභ ලැබේ මය. වනවාසී තිස්ස මහ තෙරුන් වහන්සේ සත් ඇවිරිදි බිලිඳී ව එක දා කිරිබත් පාත්‍ර දහසක් පමණ ලත් සේක් ම ය. උන්වහන්සේ එ බත් පාත්‍ර දහස දහසක් දෙනා වහන්සේට දුන් සේක් ම ය. එසේ හෙයින් මම ද මේ සළු පන්සියය පිළිගෙන මාලුව ගියා වූ සඟල ඇති පන්සියයක් භික්‍ෂූන්ට මහරජ දන් දුනිමි”යි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ අලුත් සිවුරු ලදින් මහලුව ගිය සඟළ සිවුරු ඒ භික්‍ෂූහු කමක් කෙරෙද්දැ යි විචාළහ.

මහරජ! පරණ සඟළ නැවත කටු කොහොල් ගෙත්තම් කොට රඳා පොරෝනා සිවුරු කෙරෙති යි වදාළ සේක. “පරණ පොරෝනා සිවුරු කුමක් කෙරෙද් දැ”යි විචාළහ. “මහරජ! ඒ නො තර තැන් කපා තර තැන් ගෙන අඳනා සිවුරු කොට ගනිති”යි වදාළ සේක. “පරණ අඳනා සිවුරු කුමක් කෙරෙද්දැ”යි විචාළහ. මහරජ! ඒ පසතුරුණු කොට ඇඳ ඇතිරිලි කොට අතුට ගනිති”යි වදාළ සේක. “පරණ ඇඳ ඇතිරිලි කුමක් කෙරෙද්දැ”යි විචාළහ. මහරජ! ඒ බුමුතුරුණු කොට සාංඝික ගල්ගෑ හොප් නැගූ ගෙවල බිම අතුට ගණිති යි වදාළ සේක. පරණ බුමුතුරුණු කුමක් කෙරෙද්දැයි විචාළහ. මහරජ ඒ පා පිස්නා බිසි කෙරෙති යි වදාළ සේක. පරණ පාපිස්නා බිසි කුමක් කෙරෙද් දැයි විචාළහ. මහරජ ශ්‍රද්ධාවන්තයන් දීලූ දෙය අනාථයේ වල දමා පිම සුදුසු නො වේ ම ය. එසේ හෙයින් ඔවුන්ට ම කුසල් වඩනු සඳහා ඒ දිරාගිය පාබිසි සිහින්කොට කපා සුණු විසුණු කොට මැටියෙහි ලා අනා සඟසතු ගෙවල බිත්ති කර්මාන්ත කරන්නේ වේ දැයි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද බුදු සස්නෙහි අති ප්‍රසන්න ව “ස්වාමීනි! නුඹවහන්සේගේ බුදුසස්නට පැමිණියාවූ දාන වස්තුව පාපිස්නා බිස්සෙනුත් වල නො යන නියාවත් දන් දුන්නවුන්ට පින් බොහෝ වන නියාවත් විශේෂයෙන් දනිම් ම ය”යි තෙරුන් වහන්සේගේ ගුණ කියා නුඹවහන්සේ වැනි උත්තමයක්හු කෙරෙහි මා ශංකා ඉපැදවූ වරදට දඬුවම් කෙරෙමි”යි එම තෙන හිඳ රජගෙට යවා ගෙයි තුබූ පන්සියයක් සළු ත් ගෙන්වා ගෙන මහ තෙරුන් වහන්සේට පුදා ගියහ.

මෙසේ ඒ අනඳ මහ තෙරුන් වහන්සේ බුදුසස්නෙහි චීවරලාභීන් කෙරෙහි අග්‍ර සේක. මෙසේ එකි එකී දා පන්සියයක් පන්සියයක් බැගින් පන්සියක් වාරයෙහි ම පන්සියක් සළු පූජා ලත් සේක. සෙසු ලාභ මෙ තෙකැ යි ගණන් නැත. රජහුගේ සේනාව රජහු නැති ව ගොස් රටක් ජය ගතත් අසුවල් රජහු ජය ගතැ යි කියා සේනාව කළා වූ යුද්ධ කීර්තිය රජහට කියවූවා සේ, වෙල හස්වන් කල අසුවල් වැව හස්වනැ යි වැව ගුණ කියවූවා සේ, බුදුන් ශ්‍රාවකයන් ලද්දා වූ පූජා ද බුදුන් ම ලද්දා ම වන හෙයින් මෙසේ මෙසේ වූ සත්කාර ලත් හෙයිනුත්, මෙසේ මෙසේ වූ සත්කාර ලැබීමට සුදුසු හෙයිනුත්, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක.

අසදෘශ මහාදානය

තව ද අසදෘශ මහා දානයට පූර්වභාගයෙහි ස්වාමිදරුවෝ බොහෝ දවසක් දෙවුරම් වෙහෙර වැස දනවු සැරිසරා වැඩ ගම් නියම්ගම් රාජධානියෙහි ඇවිද බොහෝ දිව්‍යමනුෂ්‍යයන්ට නිවන් වැඩ සදා ‘සතර මහ දිවයින ඇවිද ස්වකීය ස්ථානයට පැමිණියා වූ සක්රුවනක් සේ’ දිලිහි දිලිහී නැවත දෙවුරම් වෙහෙර ම අවුත් වන් සේක. එ වේලෙහි කොසොල් මහ රජ්ජුරුවෝ බුදුන් වැඩියහ යි අසා පෙර ගමන් කොට ගොස් බුදුන් ජේතවනාරාමයෙහි වඩාලා රජගෙට ගොස් “මාගේ ස්වාමි දරුවාණන් මාගේ නුවරට මෙ තෙක් දවසින් වැඩි දා ප්‍රථම දානය මාගෙන් ම දෙනු කැමැත්තෙමි. සෙට දවසට කාගෙනුත් දන් දීපිය නො හැක්කැ”යි නුවරට විධාන කොට රජගෙන් ම දන් සරහා නුවර මැද මඩුවක් ලා බුදුන් වඩා ගෙනවුත් එහි දී වළඳවන්නාහු “මාගේ දානය බලන්නට එන්නේ ය”යි අනේපිඬු මහ සිටාණන් ආදි වූ බොහෝ දෙනා රැස්කොට තමන්ගේ දානය ඔවුන් හැමදෙනාට පෑලා බුදුපාමොක් සඟ පිරිස් වැළඳවූහ.

එ දවස් නුවර වැසියෝ හැමදෙන ම “රජ තමාගේ දන් අප හැමට පෑ ය. අපි ද ඔහු පරදවා සෙට දන් දෙම්හ”යි මන්ත්‍රණය කොට දන් සරහන්නාහු රජ්ජුරුවන් දුන්නා වූ දානයට දශවිධ වූ ගුණයෙන් වඩ වඩා මහදන් සරහා “අපගේ ද දන් බැලුව මැනැවැ”යි කියා රජ්ජුරුවන්ට පෑ දෙවන දා බුදුපාමොක් සඟ පිරිස වැළඳවූහ. එදා රජ්ජුරුවෝ “මම නො පැරදී ම නුවර වැසියන් පරදවමි”යි සිතා ඒ දානයට විසි තිස් ගුණයෙකින් වඩා මහ දන් සරහා නුවර වැසියන්ට පෑ තුන් වනදා බුදු පාමොක් සඟ පිරිස් වැළඳවූහ.

නුවර වැසියෝ නො නැවත රජුගේ දානයට සැට සැත්තෑ ගුණයෙන් වඩා මහදන් සරහා රජහට පෑ සතර වන දා බුදුපාමොක් සඟ පිරිස් වැළඳවූහ. රජ්ජුරුවෝ නුවර වැසියන් දුන් දානයට සියක් දහස් ගුණයෙන් වඩා මහදන් සරහා නුවර වැසියන්ට පෑ පස්වන දා බුදුපාමොක් සඟ පිරිස් වැළඳවූහ.

එදා ඒ දානය දැක නුවර වාසීහු “රජහු ජයගත නො හැක්කැ”යි අනේපිඬු මහ සිටාණන් - විශාඛාවන් - බන්‍ධුල මල්ලිකාවන් ආදි වූ සැදැහැ ඇති සුඛිතයන්ට කීහ. ඔහු හැමදෙන “අප මෙතෙක් දෙනා සමග වූ කල එක රජකු පරදවා පීම කවර ආශ්චර්‍ය්‍යයෙක් ද, සෙට දුන් දනින් රජහු මූර්ඡා කරවා දන් දී අප පරදවන්ට රිසි පලවම්හයි” වාසි කියා “ගෙයෙකින් බත් මාලුවක්, ගෙයෙකින් පල වැලයක්, ගෙයෙකින් පූපා‘පූප වර්ගයක්, ගෙයෙකින් මධුර ඵාණි වර්ගයක්, නො කඩ කොට තමන් තමන්ගේ ශක්ති පමණින් දන් ගෙනෙන්නේ ය”යි නියෝග කළහ.

එදා සත්කෙළක් මිනිසුන් වසන ඒ සා සැවැත් නුවර බුදුන්ට දානයක් නො ගෙනාවා වූ එක ද සත්ත්‍ව කෙනෙක් නැත. ඔවුනො‘වුන් බලා සැදෑ නැතත් “රජු පරදවම්හයි” යන ලෝභයෙන් මිථ්‍යාදෘෂ්ටි ගතුවෝ ද දන් ගෙනාහු ම ය. කැවුම් වර්ග මෙතෙක් දහස් ලක්‍ෂෂ ගණනැ යි ගණන් නැත. පූපවර්ග මෙතෙකැ යි පමණ නැත. ඵාණිය වර්ග මෙ තෙකැයි පමණනැත. සූප ව්‍යඤ්ජන මෙතෙක් ලක්‍ෂ ගණනැ යි පමණ නැත. බත් සැලවල් මෙතෙක් දහස් ලක්‍ෂ ගණනැ යි ගණන් නැත. දැන් තබාගන්නා අවකාශ නො ම ඇත. දන් ගෙනාවුන් සිටිනා අවකාශ ද නො ම ඇත. පළමු ව ගෙනගිය දන්තබා බුදුන් පෙර ම සිට දොහොත් මුදුනෙහි තබාගෙන “මාගේ ස්වාමීනි! මාගේ දන් වැළඳුව මැනැව. මාගේ දන් වැළඳුව මැනැවැ”යි ආරාධනා කරන්නා වූ ස්ත්‍රී පුරුෂයෝ මෙතෙක් දෙන යයි ගණන් නැත. දන් වසුන් සේ මුදුනෙහි තබාගෙන “අද අපගේ දන් වැළඳීම් නැත. අප දන් පිස ගත්දුක් සිස් ව යන වැ”යි කිය කියා සුසුම් ලලා වසුන් හා සමග සිටිනා වූ ස්ත්‍රී-පුරුෂයෝ මෙතෙකැ යි පමණ නැත. පිටි නුවරින් ගෙනෙන දන් කත්පිටින් කර තබාගෙන මඟ අවසර නැති හෙයින් සතර වාසල් දොර ඇණිලා සිටිනා දන්පිරිස් මෙතෙක් දහස් ලක්‍ෂ ගණනැ යි පමණ දන්නෝ නැත. දන්මසුන ගෙන්වා ගෙන අවුදින් අනේපිඬු මහ සිටාණන් ආදි වූ බුදුන් කෙරෙහි වල්ලභ උපාසකවරුන් වැඳ වැඳ “ස්වාමීනි! මාගේ වස්නෙන් බත් කෙනෙස්සක් බුදුන්ගේ පාත්‍රයට පිළිගන්වාපුව මැනැව. රහතන් ගේ පාත්‍රයට පිළිගන්වාපුව මැනැවැ”යි යාච්ඤා කරණ ස්ත්‍රී පුරුෂයෝ මෙතෙක් දහස් ගණනැ යි පමණ නැත.

එදා රාත්‍රිය මුළුල්ලෙහි නින්දක් නොනිදා අනේක ප්‍රකාර වූ සූප ව්‍යඤ්ජනයෙන් දන් පිසවා ගෙන්වාගෙන තුමූ තුමූ නො එක් අලංකාරයෙන් සැරහී අවුදින් විශාඛාවන් බන්‍ධුල මල්ලිකාවන් ආදි වූ බුදුන් කෙරෙහි වල්ලභ වූ උපාසිකාවරුන් දැක දොහොත් මුදුනෙහි තබාගෙන “ස්වාමීනි! නුඹගේ වල්ලභ කම් දකිනේ මාගේ වස්නෙන් බත් කෙණෙස්සක්, මා පිසූ සූපව්‍යඤ්ජනයක්, මා පිසුවාසීන් ඛාද්‍යයක්, භොජ්‍යයක්, බුදුන් රහතුන් වළඳවාලූ කලැ”යි යාච්ඤා කරන්නා වූ ස්ත්‍රීහු මෙතෙක් දහසැ යි ගණන් නැත. අසාධාරණ වූ නො එක් උපකරණ රැස්කොට සැරහී දන් පිසම්හ යි වේලා ආසන්න කොට පියා වේලා වැරද යේ දෝ හෝ යි පින් ලෝභයෙන් වහා වහා දන් ගෙන දිවම්හ යි උපන් සන්තෝෂයෙන් මඟ පැකිළ හී දන් වසුන් මඟ හෙළා බිඳ “මට වූ සෙණක් බලව”යි ඉසබඩ අත් ගසා නැවත “ගෙට පිසූ බත් ගෙන එම්හ”යි සැදෑලෝභයෙන් ඩා කඳුළු වගුරුව වගුරුවා ආන ආනා කැස පට ගන්ව ගන්වා නැවත ආ පස්සේ ගෙය බලා දිවන ස්ත්‍රී-පුරුෂයෝ මෙතෙක් දහස් ගණනැයි පමණ නැත.

එ දවස් වූ දාන කෝලාහලයට අනික් උපමාවක් නො කියම් ම ය. මාගේ ස්වාමි දරුවාණන්ගේ අසාධාරණ දාන පාරමිතාවෙන් ජනිත වූ මහ පින්ලියය මල් පිපී රොන් සළා දුන් දවසෙකැ යි සිතමි. නොහොත් ඔබගේ මහා පුණ්‍ය නමැති වාපිකාව ඉතිර වහන පලන දවසෙකැ යි සිතමි. නොහොත් ඔබගේ මහා පුණ්‍ය නමැති චෛත්‍යය රන්කොත් පළඳවාපු දවසෙකැ යි සිතමි. නොහොත් එ දා ඔබ දුන්නා වූ සප්තශතක මහාදානය එ වේලෙහි ම විපාක දෙන් ටතබාගත් දෝ හෝ යි සිතමි. මෙසේ වූ මහා දානසම්භාරය රැස් කොටපු වේලෙහි නුවර වැසියෝ රජ්ජුරුවන් කැඳවා මේ මහා දානය පෑ සවන දා බුදුපාමොක් සඟ පිරිස් වැළඳවූහ.

රජ්ජුරුවෝ එ දන් බලන්නාහු නිමාවක් දැක්ක නො හී ඉතා විස්මයපත් ව “එකක්හු විසින් බොහෝ දෙනකු ජයගත නො හැක්කේමය”යි සිතා මෙසේ වූ දානයක් දෙන්නා තබා සිතිනුත් සිතියත් නො හැක්කේ ම ය යි නුවර වැසියන්ට පැරද රජගෙට ගොස් උපන් මහා ලජ්ජාවෙන් දාවල් බතු ත් නො කා යානට පැන නැඟී ගෙට පිටිපෑලා “අනිස, මේ සා රජ සැපතක් ඇති ව මාගේ සේවක වූ නුවර වාසීන්ට පැරද ගිය කල මට ජීවිතයත් ඇයි ද, දඹදිව රජදරුවෝ ද මේ පවත් ඇසූ නම් මා රජකු කොට සිතත් ද, මෙසේ වූ ලජ්ජාවක් බලාත්අද ම මා මිය ගියේ නම් යෙහෙකැ”යි මහත් වූ රාජාභිමානය කොට කුමක් කෙරෙම් දෝ හෝ යි සිත සිතා සුසුම් ලලා යාන් මත්තෙහි ඔත්හ.

එ වේලෙහි මල්ලිකා දේවි රජ්ජුරුවන්ගේ ශ්‍රී යහන් ගබඩාවට වැද ශෝකාතුර ව හොත් රජ්ජුරුවන් දැක “මේ කිමෙක් ද දේවයෙනි! නුඹවහන්සේගේ ඉන්‍ද්‍රියයෝ ත් අද විකාරයට පැමිණියහ. දහවල් මෙහෙත නො නිමවන ලද. ශෝකාතුර වන සේක් නැ”යි විචාළහ. රජ්ජුරුවෝ “මල්ලිකා දේවිනි! තෙපි මට වූ ලජ්ජා නො දනුදැ?”යි විචාළහ. නො දනිමි ස්වාමීනි. වදාළ මැනැවැ යි කීහ. සදවසක් මුළුල්ලෙහි ඔවුනොවුන් පරදවා බුදුන්ට දන් දී, අද දින නුවර වැසියන්ට මා පැරද ගියේ වෙමි. අද දුන් දනට වඩා දන් දෙන්නා තබා සරිගස්වා දී ලීමත් මට බැරි ය යි කීහ.

එ වේලෙහි මල්ලිකා දේවි නුවර වැසියන් දන් දුන්නා වූ ක්‍රම විචාරා සිනා සී “අනිස, නුඹවහන්සේ රජ ව සිට සේවකයන්ට පැරද ගියෙමි යි කීම ඉතා නො යෙදෙයි. රජෙක් නම් කවර කලෙක නුවර වැසියන්ට පැරද යේ ද? මාගේ නුවණ සෙට දවස් බැලුව මැනව. නුවර වැසියන් හැම දෙනා ම පරදවා මහ දන් දෙවාලා නුඹ ජයගන්වාලා දීලමි”යි කීහ.

එ බසට රජ්ජුරුවෝ සතුටු ව පැන නැගී යහන් මහතුයෙහි හිඳගෙන “කෙසේ දැ යි කියා බල”යි කීහ. මල්ලිකා දේවි කියන්නාහු “නුවර වැසියන්ගේ නැති නැති දෙයින් පූජා කරම්හ. දඹදිව සල්ගස් නම් උයන්වල විනා සෙසු තෙනක නැත්තේ ම ය. එසේ හෙයින් උයන් නම් නුඹ මුත් නුවර වැසියන්ගේ නැත. උයනින් සල්ගස් කප්පා ගෙන්වා ගෙන විශාල වූ ශාල පාදපයන් සිටුවා මහ මඩුවක් කරවාලුව මැනැව. එ මඩුව විසිතුරු කොට රන්කම් කළ පිළියෙන් වියන් බඳවා එහි රන් තරු-රිදී තරු පෙළ පෙළ දවටා රන් තිර අදවා බිම රත්කම් කළ බුමුතුරුණෙන් වසා මඩුව වටකොට අතරතුරෙහි අවකාශ හැර පන්සියයක් ආසන පනවාලුව මැනව. සිසාරා එහි බුදුන් ප්‍රධාන වූ පන්සියයක් රහතන් වඩා හිඳුවාලුව මැනව. නමකට ඇතකු බැගින් පන්සියයක් ඇතුන් අතට පන්සියයක් සේසත් දී සිටුවාලුව මැනව. සර්වාභරණයෙන් සැරහුනා වූ බිසෝවරුන් දෙසිය පණසක් තෝරා රන්තල්වැට දී දෙදෙනකු වහන්සේට එක්කෙනකුන් පත් සලන සේ සිටුවාලුව මැනව. දෙදෙනකු වහන්සේට අතරතුරෙහි සලදා තබා ගෙන සර්වාභරණයෙන් සැරහුනා වූ පන්සියයක් බිසෝවරුන් දෙපා දිගුකොට ඉඳ රුවන් තෝඩු සල සලා ඇඟ සොලව සොලවා කස්තුරු ආදී වූ සුවඳ බඩු අඹරණ සේ විධාන කොට ලුව මැනව. තව ද පන්සියයක් බිසෝවරුන් ලක්‍ෂ වටනා ගෙලෙමුතුදම් පැලඳ ලක්‍ෂ වටනා කසී සළු හැඳ රුවන් මිණිකොඬොලින් සැරහී සිට පන්සියයක් නිලිපුල්මල් කලබ් ගෙන මණ්ඩප මධ්‍යයෙහි සිටුවාලුව මැනව.

තව ද: ඝන රන් ඔරු අටක් හෝ දහසයක් හෝ කරවා මණ්ඩප මධ්‍යයෙහි පිළිවෙලින් තබ්බවාලුව මැනව. තව ද: පන්සියයක් බිසෝවරුන් රුවන් පළඳනාවෙන් හා රන්සිරිකණින් දිව්‍යාඞ්ගනාවන් සේ සරහා සිටුවා ඇඹරු ඇඹරූ සුවඳ පිඬු ගෙන ගොස් ඒ ඝනරන් ඔරුවල ලන සේ නියෝග කළ මැනව. ඒ ඔරුවල ලූ සුවඳ පන්සියයක් බිසෝවරු නිලිපුල්මල් කලඹින් ගලා සියලු මණ්ඩපයෙහි සුවඳ ගඳ විහිදුවන සේ නියෝග කළ මැනව. මෙසේ අලඞ්කාර කොට බුදුන් වැළඳවූ කල දානය අසදෘශ වෙයි. නුවර වාසීන්ගේ සල්ගස් නැති හෙයින් ශාල මණ්ඩපයෙනුත් ඔහු ම පරදිති. ඔවුන්ගේ ඇතුන් නැති හෙයිනුත් පරදිති. සේසත් නැති හෙයිනුත් පරදිති. උන්ගේ බිසෝවරුන් නැති හෙයිනුත් මේ අලඞ්කාරයට පරදිති. මෙසේ දානය අසදෘශ කොට දී ජයගත මැනැවැ”යි කීහ.

එ වේලෙහි රජ්ජුරුවෝ “තොප කී උපදෙස ඉතා මැනැවැ”වි ගිවිස දෙවන දා බිසොවුන් කීවා සේ ම පූජාව සරහා බුදුපාමොක් සඟ පිරිස් පවරා ගෙනවුත් ඒ ඒ ආසනවල හිඳුවා ඇමදෙනා වහන්සේට සේසත් ගන්වා ඇතුන් සිටුවන වේලෙහි සාරසිය නවානූවක් පමණ ඇතුන් නිල කොට එක් කෙනකුන් වහන්සේට හිසට සේසත් ගන්නා ඇතකු නැති හෙයින් රජ්ජුරුවෝ නො සතුටු ව මල්ලිකා දේවීන් සිටි තෙනට ගොස් “දේවීනි! තොප කීවා වූ ක්‍රමයෙන් සියලු සංවිධාන කොටලීමි. සියල්ලෙන් ම අඩුවෙක් නැත. එක්කෙනකුන් වහන්සේට සේසත් ගන්නා ඇතෙක් නැතැ”යි කීහ.

එ බසට බිසොවු සිනාසී “අනිස, නුඹ වැනි රජකුගේ පන්සියයක් පමණ ඇත්තු නැද්දැ”යි විචාළහ. දේවීනි! මගේ හස්ති සේනාව දහස් ගණන. ඔහු මහා චණ්ඩපරුෂයහ. භික්‍ෂූන්වහන්සේ දැකලා වේරම්බ වාතය සේ නො රඳා ගුගුරාගෙන දිවන්නාහු ය. එසේ හෙයින් පෝසත් ඇතකු සොයාගත නො හැක්කැ යි කීහ. එ බසට මල්ලිකා දේවී නුවණක් සිතාගෙන “එසේ වී නම් මොළ ඇතකු ම ගෙන්නුව මැනැව. ඔහු සිටුවාලන තෙනක් මම දනිමි. අපගේ අඞ්ගුලිමාල මහ තෙරුන් වහන්සේ දුටු කල මද නැඟී ඇත්තු බා වෙවුලා යෙති. සිඟා වඩනා කල මහ වේ මැද කෝ වේ වල දී සමහර දවසෙක මද නැඟි ඇත්තු උන්වහන්සේ හා එක තැන හසුව ගිය කල භයින් වෙවුලා පියති. බෙටිත් සලා පියති. එසේ හෙයින් ඔබ ළඟ මොළ ඇතකු සිටුවාලුව මැනැවැ”යි කීහ.

එ වේලෙහි රජ්ජුරුවෝ ඒ උපදේශයට ඉතා සතුටු ව ඇතරුවන් ලවා මොළ ඇතකු බැඳුම් පිටින් ගෙන්වා ගෙන ඔහු අතට සේසතක් දීලා අඞ්ගුලිමාල මහතෙරුන් වහන්සේ පිටි පසුයෙහි සිටුවාලා මිනිස්සු දුරුව ගිය. තෙරුන් වහන්සේ කර බාගෙන වැඩ හිඳ ඔහු නො බලා බත් වළඳා වදාරණ සේක් ම ය. ඒ මොල ඇත් තෙරුන් වහන්සේ කරා පැමිණ සර්පරාජයකු දුටු මැඩියකු සේ, බිළාලයකු දුටු ඇඹිටිල්ලකු සේ, දිවියකු කරා පැමිණ ගිය මුව පොල්ලකු සේ, සිංහයකු දුටු ඇත්පොව්වකු සේ, ඔබ දැක භයින් වෙවුලා නැඹුරු ව ගෙන වක ගසා වාලධිය අමුඩු හස්සේ සඟවා ගෙන, කන්පත් දෙක කපොලාන්තයෙහි එළා ගෙන. ඇස දල්වා බලන්ට භය ඇති ව, දෑස පියා ගෙන ශ්‍රද්ධාසම්පන්න හුදියකු සේ හිසට කුඩය අල්වාගෙන මාගේ ස්වාමිදරුවාණන්ගේ ගුණ ගත් අතැවැසියන් දුටු මිතැ‘තුන් මෙසේ ශික්‍ෂිත වන කල ඔබ දුටු පාරිය්‍යෙ නම් වල් ඇතු තුන් මසක් මුළුල්ලෙහි ඔබට අභියුක්ත කම් කෙළේ කවර නම් ආශ්චර්‍ය්‍යයෙකැ යි කියම් ද? ඔබ දුටු ගිරි මෙවුලා නම් මතැතු මහහඬින් ගුගුරුවා පලාගියේ කී නම් පෙළ හරෙකැ යි කියම් ද?

මෙසේ ඒ ඇතු උන්වහන්සේට කුඩය අල්වාගෙන සිටිනා භාව භාවය බලා සාධුකාර දෙන්නෝ දහස් ගණන. ඒ සා මහත් පූජාවෙහි මෙයට වඩනා අනික් ආශ්චර්‍ය්‍යයෙක් නො වීය. මේ ඇතු සිටගත්තා වූ ස්වභාවයෙන් ම නුවර වැසියෝ රජ්ජුරුවන්ට පැරද ගියහ. සෙසු දවසෙක එසේ වූ පෙළහැරෙක් නො වූයේ ය.

අංගුලිමාල තෙරුන්ගේ පූර්‍වකුශලය

මේ අඞ්ගුලිමාල මහතෙරුන් වහන්සේ පූර්වජාතියෙක ගිලන් භික්‍ෂු කෙනකුන් වහන්සේ දැක මිරිස්-සිද්ධිගුරු-වගපුල් ආදි වූ කුළුබඩු බෙහෙත් මඩුවක් දන් දුන්සේක. තව ද: එක් ජාතියෙක ගිනිකබලක් හා පොරොවක් දන් දුන්සේක. ත ද: එක් ජාති‍යෙක හැලින් පීඩා ගන්නා වූ භික්‍ෂු කෙනකුන් වහන්සේ දැක පොරෝනා පලසක් දන් දුන් සේක. මේ කුශල මූලයෙන් මේ සා වූ තේජසක් ඇති සේකැ යි දතයුතු.

මෙසේ උදාර වූ පූජාවෙන් ඒ සත්වන දා රජ්ජුරුවෝ නුවර වාසීන් පරදවා බුදුපාමොක් සඟපිරිස් වැළඳවූහ. වළඳා අන්තයෙහි බුදුන් කරා ගොස් බුදුන් වැඳ සිට “ස්වාමීනි! මාගේ මේ පූජාවෙහි මෙ තෙනට රැස් වූ සියලු කප්පිය භාණ්ඩ වේව යි අකප්පිය භාණ්ඩ වේව යි මේ සියල්ල නුඹ වහන්සේට ම දින්මි”යි කියා සියල්ල ම පූජා කළහ. එ දවස් රජ්ජුරුවන් කළ පූජාව සඞ්ඛ්‍යා වශයෙන් තුදුස් කෙළක් පමණ ධනය වී ය. බුදුන්ට පැනවූ බුද්ධාසන ය, බුදුන් පිටට ලාලූ රුවන්මය වූ පිටාටුව ය, බුදුන් සිරසට වැඩූ සේසත ය, ශ්‍රීපාද දෙක තබා ලූ රුවන්මය වූ පාදපීඨ සඟළ ය යන මේ සතර අනර්ඝ විය. මෙසේ වූ දාන පූජාවක් සදෘශ කොට දෙවනුව දී ලිය හෙන්නා වූ අන්‍ය සත්ත්‍වයෙක් නැත් ම ය. එසේ හෙයින් මේ දානය අසදෘශ දාන නම් වෙයි. බුදුකෙනකුන්ට එක වාරයෙක මුත් දෙවාරයෙක නො ලැබේ ම ය. හැම බුදුන් ම ලබන්නා වූ මේ අසදෘශ දානය හැමකාලයෙහි ස්ත්‍රියක ම සංවිධාන කිරීම එයිත් ඒකාන්ත ධර්මයෙක් ම ය.

මෙසේ අනඳ මහ තෙරුන් වහන්සේ විසින් පස් විසි හවුරුද්දක් මුළුල්ලෙහි දවස්පතා කරන ලද අප්‍රමාණ වූ අග්‍ර වූ උපස්ථාන පූජා ය, ආනන්‍ද මහා බෝධියට නුවර වැසියන් දවස්පතා ම කරන ලද අප්‍රමාණ වූ පාරිභෝගික පූජා ය, බන්ධුල මල්ලිකාවන් දිවි පමණින් කරන ලද අප්‍රමාණ වූ අති ශ්‍රද්ධා පූජා ය, කොසොල් රජ්ජුරුවන් විසින් කරන ලද අති විශ්වාස පූජා ය, කෝසල මල්ලිකාවන් විසින් කරන කලද අති ශ්‍රද්ධා පූජා ය, උත්පල ගන්‍ධ නම් මහතෙරුන් වහන්සේ විසින් කරන ලද අසාධාරණ වූ ප්‍රතිපත්ති පූජා ය, තවද එම කොසොල් රජ්ජුරුවන් විසින් අනඳ මහ තෙරුන් වහන්සේට කරන ලද සාටක දාන පූජා ය, එම කොසොල් රජ්ජුරුවන් විසින් අනගි වස්තු සතරක් හා තුදුස් කෙළක් ධන පරිත්‍යාගයෙන් කරන ලද අසදෘශ මහාදාන පූජා ය යි සඞ්ඛ්‍යාවක් කොට ගත නො හැකි හෙයින් අසඞ්ඛ්‍යපථයට පැන නැංගා වූ බොහෝ පූජාවන් ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, හුදු කරුණාවෙන් මවාලූ රුවක් වැනි වූ හුදු මුදිතාවෙන් මවාලූ රුවක් වැනි වූ, හුදු මෛත්‍රියෙන් මවාලූ රුවක් වැනි වූ, හුදු ශීලයෙන් මවා ලූ රුවක් වැනි වූ, හුදු ක්‍ෂාන්තියෙන් මවාලූ රුවක් වැනි වූ, හුදු ප්‍රඥාවෙන් මවාලූ රුවක් වැනි වූ, හුදු සද්ධර්මයෙන් මවාලූ රුවක් වැනි වූ, හුදු සමාධියෙන් මවාලූ රුවක් වැනි වූ, හුදු විස්මයෙන් මවාලූ රුවක් වැනි වූ, හුදු නිවණින් මවාලූ රුවක් වැනි වූ, මාගේ ම ස්වාමිදරු වූ, මාගේ ම ගුරු වූ, මාගේ ම කල්‍යාණමිත්‍ර වූ, මට ම ශරණ වූ, මට ම පිහිට වූ, මාගේ ම බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක.

එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං “අරහං”ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං යි.

මේ පූජාවලියෙහි අප බුදුන් සැවැත් නුවර දී ම කොසොල් රජහුගෙන් ලද

අසදෘශ මහා දාන පූජා කථා නම් වූ විසි වන පරිච්ඡේදය නිමි.

21. ගංගාරෝහණ පූජා කථා

ලිච්ඡවීන්ගේ උත්පත්ති කථා

තව ද: අප බුදුන් විශාලා මහනුවර දී ලිච්ඡවී රජුගෙන් ලද ගඞ්ගාරෝහණ පූජා කථා නම් කවරහ? යත්; මේ එහි පිළිවෙල කථාව ය:

ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුහුගේ අගමෙහෙසින් බිසොවුන් කුස දරු ගබෙක් විය. එ බිසොවු කුස බර වූ සේ දැන රජහට කීහ. රජ්ජුරුවෝ දරුගබ මඟුල් කොට ගබ පෙරහර තබා දුන්හ. මෙසේ මහත් වූ සත්කාර ලදින් දසමසක් ගිය කල දවසෙක බිසොවුන් අලුයම් වේලෙහි ලාරසයෙන් තෙත් වූ බඳු වද මල්දමක් සේ ඉතා සුරක්ත වූ මස් වැදැල්ලක් වැදූහ. සෙසු බිසෝවරු රන් පිළිම සේ දරුවන් වදති. අග මෙහෙසින් බිසොවු වස් වැදැල්ලක් වැදූහ යි රජු ඉදිරියෙහි සිට කියා බොහෝ දෙන මාගේ නුගුණ කියන්නාහු ය යි බිසොවු ලජ්ජා ඇති ව එ මස් වැදැල්ල නවමු සැළියෙක ලා පිධානයෙකින් වසා බැඳ රාජමුද්‍රිකාවෙන් අස් ඔබා දිය නො වදිනා සේ ලාකඩින් මේ කොට ගඟ දියෙහි ලැවූහ.

එ වේලෙහි ඒ දරුවන්ගේ පින්බලයෙන් ගඟ අරක් ගත් දෙවියෝ රළ පහරින් වේව යි, දණ්ඩෙකින් ගලෙකින් වේව යි, සළාවෙකින් වේව යි ඒ සැළට අන්තරායක් විය නො දී ආරක්‍ෂා ගෙන “බරණැස් රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසොවුන් දරුවෝ ය”යි රන්පතෙහි දෑහිඟුලෙන් ලියා සැළමතුපිට බැඳ තුබූහ. ඉක්බිත්තෙන් මෙසේ ඒ භාජනය නො නැසීම දෙවියන් ගේ ආරක්‍ෂාවෙන් යටගං බලා යෙයි.

එ සමයෙහි එක් තාපස කෙනෙක් ගවපාලයන් වසන ගමක් නිසා ඒ ගංබඩ පන්සලක් කරවා එහි වාසය කෙරෙති. ඒ තාපසයෝ එදා උදාසන දැවිටි කන නිසා ගංතොටට බැස ගං මධ්‍යයෙහි එන ඒ සැළ දැක දියෙන් යන පාංශුකූලයකැ යි දිය පිහිනා ගෙන ගොස් සැළ අල්වා ගෙන බලා රන්පත ලියා තුබූ අකුරු දැක හස් කඩා යට තුබූ මස්වැදැල්ල දැක “මේ දරුමලයෙක, මේ කුණප ගන්‍ධයෙකුත් නැත. බරණැස් රජහුගේ දරුවෝ ය යි පත ලියා තුබූයේ, රැක තබමි”යි සිතාලා පන්සලට ගෙන ගොස් සතා සතුන් නො වදනා සේ ක්‍ෂේම කොට තුබූහ. දවසින් දවස බලත් බලත් පසළොස් දවසක් ගිය කල ඒ එක මස්වැදැල්ල දෙකක්ව බෙදී ගිය. නැවත පසළොස් දවසක් ගියකල එකි එකී මස් කැටියෙහි දෙ අත ය, දෙ පය ය, ඉස ය යි පස්පළක් සේ පෙනිලා පසුව දෙතුන් දවසක් ගිය කල ඉසෙහි දෑස ය, දෙනාසා සිදුරු ය, දෙකන් සිදුරු ය දෙකණ ය, මුඛ ය යන අවයව හා මලවටන් දියවටන් නව දොර පෙණී, විසි ඇඟිලි විසි නිය ආදි වූ සටහන් අට ගෙන රන්පිළිමයක් සේ කුමරියක හා කුමරුවකු හා දෙදෙනෙක් වූහ.

එ දරුවෝ දෙදෙනා දුටු වේලෙහි තාපසයන්ට දරුප්‍රේම හටගත. එ කෙණෙහි තාපසයන් දැක දස ඇඟිල්ලෙන් කිර ධාරාවැඟිරෙන්නට පටන් ගත. දෑඟිලි දරුවන් මුඛයෙහි තබාලූ වේලෙහි මවුන් තන ය එලීගෙන කිරි බොන දරුවන් සේ එ දරු දෙදෙන තාපසයන් දෑත ඔවුනොවුන් පරයා එලීගෙන තලු ගස ගසා කිරි බොන්නාහු ය. දරුවන්ගේ පිනින් තාපසයන්ට ද එතැන් පටන් ඛාද්‍ය භෝජ්‍ය සුලභකොට ලැබේ ම ය. මෙසේ වැඩෙන දරුවන් අනුභව කල යම් ම භෝජනයෙක් දෑවාන කරඬුයෙක තුබූ වස්තුවක් සේ බඩයට පෙන් ම ය. මෙසේ එ දරුවෝ අනුභව කළ කළ දෑ පිටතට පෙනෙන හෙයින් ඡවී නැතියාහ වැනි යාහුනුයි කියාත් ලිච්ඡවි නම් වෙති. ඔවුනොවුන් හා වෙනසක් නැතිව සමානව ඡවි වර්ණ ඇත්තාහු නු යි කියාත් ලිච්ඡවි කුමරුවෝ නම් වෙති.

තාපසයෝ මෙසේ ඒ ලිච්ඡවි රජ දරුවන් වඩන්නාහූ පූර්වදිග් භාගයෙහි ගමකට වැද උදාසන හිරි රසට මූණලා ගෙන ගොස් සිඟති. පස්වරු භාගයෙහි නැවත එම හිරි රසට මූණ ලා දරුවන් නිසා ඇවිද බොහෝ දුක් ගනිති. මෙසේ තාපසයන් දවස් පතා සූර්‍ය්‍ය තාපයෙන් තැවි තැවී දරුවන් නිසා ඇවිදින්නා දුක් දැක එ ගම ගවපාලයෝ කියන්නාහු “ස්වාමීනි! තපස්වීවරුන්ට දරුවන් වැඩිම නම් ඉතා පලිරෝධය. එ දරුවන් අපට පාවා දුන මැනැව. අපි උන් වඩම්හ. නුඹවහන්සේ මහණ දම් පුරාගත මැනැවැ”යි කීහ. තාපසයෝ මැනැවැයි ගිවිස්සාහ.

ගවපාලයෝ දෙවන දා ගම පටන් පන්සලට මග බෙර ඇසක් සේ තනා සුවඳ මල් ඉස ධ්වජ පතාක නඟා පූජා කරවාගෙන බොහෝ දෙනා පන්සලට අවුදින් “දරුවන් අපට පාවා දුන මැනැවැ”යි කීහ. තාපසයෝ “මාගේ දරුවෝ මහ පින් ඇතියාහ. ආදරයෙන් වඩව, වැඩුණු කලත් මේ කුමරුවාට අනික් කුමරියක් පාවා නො දෙව. මේ කුමරිය අනික් කුමරුවක්හට පාවා නො දෙව දෙන්නා ඔවුනොවුන් හා ආවාහ විවාහ කරව. පසුව කිරි-යොද-දී-තෙල්-වෙඬරු යන පස්ගෝරසයෙන් තොප තොපගේ රජ්ජුරුවන් පහදවාගෙන බිමක් ලවා ගෙන එහි ගමක් කරවා තෙලෙ කුමරුවා රජ කොට ගනුව”යි කියා දරු දෙදෙනා පාවා දුන්හ. ඔහු මැනැවැ යි ගිවිස එ දරු දෙදෙනා ගෙන ගොස් වැඩූහ.

එ කුමරුවෝ වැඩී කෙළනා කල සෙසු දරුවන්ට අතින් පයින් ගසාලති. ඔහු හඬ හඬා තමන් තමන් ගෙවලට යෙති. හඬවුනැ යි මවුන් පියන් විචාළ කල එ දරුවෝ “මවුන් පියන් නැති ව තාපසයකු වැඩූ නිප්පිතික කොල්ලෝ අප මැරූහ”යි කියති. එ කල උන් උන්ගේ දෙමවුපියෝ “මේ කොල්ලෝ අප දරුවන් මරති. අප දරුවන් නසති. අප දරුවන්ට දුක් දෙති. එසේ හෙයින් මේ කොල්ලෝ වජ්ජිතකයහ, වජ්ජිතකයහ”යි කියති. ඒ කාරණයෙන් එ නුවර වජ්ජිත නම් ව පසුව තුන්සියක් යොදුන් තැන් වජ්ජිත රට ය යි මෙ නමින් ප්‍රසිද්ධ වි ය.

විශාලා මහ නුවර උපන් ත්‍රිවිධ භය සංසිඳවීම

එ කල එහි නුවරක් නිමවා එ කුමරුවා සොළොස් හැවිරිදි කල රජ කොට එ කුමරිය අගමෙහෙසින් කළහ. ඒ ලිච්ඡවීන් දෙදෙනා මෙසේ ප්‍රිය වාසයෙන් වසන කල ප්‍රථම සංවාසයෙහි ම එ් ලිච්ඡවී කුමාරිකා දරු ගබ් ලදින් දුවක හා පුතකු එකවිට ම වැදූහ. මෙසේ ම දූන් පුතුන් බැගින් යමක දරුවන් සොළොස් වාරයෙක දෙතිස් දෙනකු වැදූහ. මෙසේ ම ක්‍රම ක්‍රමයෙන් සොළොස් සොළොස් යමක දරුවන් බැගින් දරුමුණුබුරොත් වැදූහ. මෙසේ ඒ වංශය බොහෝ වූයේ ගම අවකාශ නැති හෙයින් මහත් මහත් ව ගව්වක් සා විය. දෙවන වාරයෙහි දෙගව්වක් සා විය. තුන්වන වාරයෙහි තුන්ගව්වක් පමණ වටා මහ පවුරු ලා මහරජ නුවර වි ය. මෙසේ කලින් කල විශාල විශාලව ගිය හෙයින් විශාලා මහ නුවර ය යි මෙ නමින් ප්‍රසිද්ධ විය. එ් රජ දරුවෝ ද යට කී ක්‍රමයෙන් ලිච්ඡවී රජදරුවෝ ය යි මෙ නමින් ප්‍රසිද්ධ වූහ. ඒ රජදරුවෝ තාපසයන් පන්සල වැඩී උත්පත්ති වූ කාරණයෙන් ද, එක මෑණියන් වැදූ හෙයින් ද, අන්‍ය ජාතියක් හා ජාති සම්භේදයක් නැති හෙයින් ද, ඔවුනො‘වුන් කෙරෙහි ද, ප්‍රේම බහුල ව වාදයක් ම නැති ව සාදරයෙන් ම රාජ්‍යය කෙරෙති.

අප බුදුන් සමයෙහි මේ විශාලා මහ නුවර දිව්‍යපුරයක් සේ සමෘද්ධ විය. ඉතා ජනගහන වි ය. සම්පත්තීන් අනූන වි ය. කෙළි නළුයෙන් උත්සන්න වි ය. සකසා මැදි රන් කැටපතක් බඳු වූ ඡවි වර්ණ ඇති දිව්‍ය සමාන ලිච්ඡවි රජ දරුවෝ ම සත් දහස් සත්සිය සත්දෙනෙක් වෙසෙති. යුවරජ දරුවෝ ම සත් දහස් සත්සිය සත් දෙනෙක් වෙසෙති. සේනාපති ම සත් දහස් සත්සිය සත්දෙනෙක. භාණ්ඩාගාරිකයෝ ම සත් දහස් සත්සිය සත්දෙනෙක් වෙසෙති. රජ ගෙවල් ම සත් දහස් සත්සිය සතෙක, කූටාගාර ශාලා ම සත් දහස් සත්සිය සතෙක. පවුරු සත් දහස් සත්සිය සතෙක. මෙසේ එ නුවර සියල්ලෙන් ඉතා සමෘද්ධ වි ය. මෙතෙක් රජදරුවෝ ම වාරයෙන් වාරයට රාජ්‍යය කෙරෙති. ඒ ලිච්ඡවී රජදරුවන්ගේ රූපශ්‍රී හා තරම් රූ ඇතියෝ මිනිස් ලොව නැත්මය. තවුතිසා වැසි දෙවියන් නො හඳුනන්නවුන් ලිච්ඡවි රජුන් බලා හැඳින ගන්නේ ය යි බුදුන් විසිනුත් වදාරණ ලදම ය.

මෙසේ එ නුවර දෙව්ලොවින් බට භාගයක් වැනියේ ය. මතැතුන්ගේ කුඤ්චනාදයෙන් හා, අසුන්ගේ හේෂාරවයෙන් හා, රථවල චක්‍ර නාදයෙන් හා, නළුවන් ගානා වීණා වාද්‍යනාදයෙන් හා, මුහුද හඬ සේ ඝෝෂා ඇති මහා භේරිනාදයෙන් හා, තුඩ තබා පිඹිනා දහස් ගණන් ජයසක් නාදයෙන් හා, දහස් ගණන් වංශීන් විසින් සංගීත කරන ලද වංශනාදයෙන් හා, දහස් ගණන් පෙළ පෙළ දි ගසන තාලනාදයෙන් හා, කව! බොව! යන ශබ්දයෙන් හා මේ දශවිධ වූ ඝෝෂාවෙන් ම එ නුවර විශාල වූ හෙයිනුත් විශාල මහ නුවර ය යි නම් ලද්දෝ හෝ යි කියා ත් සිතමි. විශේෂ වූ විශාල ශාලාවෙන් අලංකෘත වූ හෙයිනුත් විශාලා නමැ යි කියාත් සිතමි. දහස් ගණන් උද්‍යානවල විශාල වූ ශාල වෘක්‍ෂරාජ සමූහයන් විරාජමාන හෙයිනුත් විශාලා නමැ යි සිතමි.

මෙසේ සමෘද්ධ වූ ඒ විශාලා මහ නුවර කලෙකින් මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් “සියලු සංස්කාර ධර්මයෝ ම ඒ ඒ ආකාරයෙන් නො පවත්නාහු ය. අනිත්‍යයහ”යි වදාරන්නා වූ අවවාද වචනය සබාම ය යි දෙස් කියවන්නා සේ ඒ විශාලා මහ නුවර ද රෝග භය, දුර්භික්‍ෂ භය, අමනුෂ්‍ය භය යි තුන් භයකින් විශාල විය. හේ කෙසේ ද? යත්;

පළමු ව වැසි නැති ව වැව් අමුණුවල දිය සිඳී ගොයම් මිය සාය ගසා බතින් දුර්භික්‍ෂ වි ය. බත් නො ලබන දිළිඳු සත්ත්‍වයෝ පළමු පළමු ව මියන්නට පටන් ගත්හ. මළ මළ මිනී සමහර කෙනකුන් දවති, මිනී බොහෝ ව ගෙන යන හෙයින් හැම දවාගත නො හී බොටුයෙහි වැල්ලලා පිටතට අදිති. තව ද: මිනී බොහෝ ව ගෙන යන හෙයින් එසේ ත් ඇදගත නො හී ගේ කුසින් පිටත් කොට වතුකන් මිදුල්කනට අදිති. තව ද: මියන්නවුන් බොහෝ වන හෙයින් පිටවතුත් කොට ගත නො හී ගෙන් භාගයෙක මළ මිනී ඔවිති. එක් භාගයෙක ලෙඩ ව හැඳින් නැඟී සිටි ය නො හෙනුවෝ හොවිති. මළ මිනි අදින්නෝ නො ම ඇත. ලෙඩ වූවන් බලනුවේ නො ම ඇත. පැනට හඬන දරුවන් කට පැන් හෙළා පිය නො හී තමන් තමන්ගේ ව්‍යාධි සඳහන් නො කොට දරු ශෝකයෙන් හොත් පොළ හෙව අඬන්නා වූ මවුපියෝ මෙතෙක් දහස් ගණනැ යි ගණන් නැත. ජීවිත සමාන ප්‍රේම ඇති පුරුෂයන් පැන් බොම්හයි හඬන වේලෙහි හොත් පළින් නැගී සිට උන් කට පැන් හෙළා ලිය නො හී තමන් තමන්ගේ ව්‍යාධියට වඩා ප්‍රිය පුරුෂයන් නො බලන්නා වූ ශෝක ඉවසාගත නො හි කෙඳිරි ගගා හඬන ස්ත්‍රීන් මෙතෙක් දහස් ගණනැ යි ගණන් නැත. ස්ත්‍රීන් පැනට හඬන වේලෙහි උන් කට පැන් හෙළාලිය නො හී එම ශෝකයෙන් ම හඬින් හඬ හඬා වැදහෝනා පුරුෂයෝ මෙතෙක් දහස් ගණනැ යි ගණන් නැත. මෙසේ ඒ මිනී කුණපය නිසා ගිනි පිට ගිනි දැමුවාසේ අහිවාතක නම් රෝගයෙක් උපන.

ඒ රෝගයෙන් පළමු ව ගෙයි වසන සූනෝ මියෙති. දෙවනුව බල්ලෝ බළල්ලු මියෙති. තුන්වනු ව මනුෂ්‍යයෝ මියෙති. ඒ රෝගයෙන් මියන කල සමහරු නො ලෙඩුන් සේ දොඩ දොඩා වැදහෙව මියෙති. සමහරු ප්‍රිය කථා කොට කොට ම හිඳ මියෙති. සමහරු සිනා සිසී කෙළ කෙළ ම සිට ලා මිය වැටී යෙති. සමහරු යමින් එමින් සිට මියෙති. යම් සේ සර්පයන් විෂ වාතය වැදගත් කෙණෙහි ම මනුෂ්‍යයෝ විෂ මූර්ඡාවෙන් වහා මියෙද්ද, එසේ හෙයින් ම මේ රෝගය ද බල බලා සිටිය දී ම මැරෙන හෙයින් අහිවාතක නම් විය. ඒ මිනීමස් කනු සඳහා ඒ ඒ දිගින් යක්‍ෂයෝ දිව අවුදින් මුළු නුවර ගලාගෙන දිවි තුබු තුබූ මිනිසුන් සල්ව සල්වා කන්නට පටන් ගත්හ.

මෙසේ දුර්භික්‍ෂ රෝග අමනුෂ්‍ය ය යි යන තුන් භයින් සියලු රට හා නුවර වල් නස්නට පටන්ගත් සමයෙහි නො මළ, නො මළ මනුෂ්‍යයෝ හැමදෙන ම රැස්ව මරණ භයින් වෙවුලා “කොල! මේ කිමෙක් දැ”යි කිය කියා අඹු දරු නැති ශෝකයෙන් වැනි වැනී රජ්ජුරුවන් කරා ගොස් “රජ්ජුරුවෙනි! තොපගේ නුවර තුන් භයෙක් ඉපැද දැන් එක වලහම් ගෙයක් සේ විය. තොපගේ සත්මුත්තක් පරම්පරායෙක මෙ නුවර මෙසේ වූ භයෙක් නැත. මෙසේ වූ ශෝකයෙක් නො වී ය. මෙසේ වූ වියෝ දුක්ඛයෙක් නො වී ය. අපට මේ භය වහා සන්සිඳුවා ලුව මැනැවැ”යි කියා හඬා හුන්හ.

එ වේලෙහි රජ්ජුරුවෝ සියලු අමාත්‍යයන් සන්ථාගාරයට රැස්කොට “මා කරන අධර්මයක් ඇත් නම් හැමදෙන ම පරීක්‍ෂා කොට මට කියව”යි නියෝග කළහ. එ කල නුවර වැසියෝ නො එක් සේ පරීක්‍ෂාකොට රජුගේ කිසි අධර්මිෂ්ඨකමක් නො දැක “ස්වාමීනි! නුඹවහන්සේගේ කිසිම අවැදගත් කමක් නුදුටුම්හ. මේ භය කෙසේ සන්හිඳේ දැ”යි කීහ. සමහර කෙනෙක් සෘද්ධිවන්ත වූ තාපස කෙනකුන් වඩා ගෙනවුත් පූජා කළ කල භය සන්හිඳෙයි කීහ. සෘද්ධිවන්තයෝ නම් කවුරු දැ යි විචාළහ.

එ කලම දඹදිව “අපි බුදුම්හ, අපි බුදුම්හ”යි කිය කියා මිථ්‍යාදෘෂ්ටි ගෙන ලෝවැසියන් මුහුණ වැලි ගසන්නා සේ වඤ්චාවෙන් ඇවිදුනා වූ පූරණ කාශ්‍යපය, මක්ඛලී ගෝශාලය, අජිත කේශකම්බලය, කකුධ කාත්‍යායනය, සඤ්ජය බෙල්ලට්ඨි පුත්‍රය, නිගණ්ඨ නාථපුත්‍රය යි ලොව ගසා කා ඇවිදුනා වූ සොරහු සදෙනෙක් ඇත. ගිනි අඟුරෙහි රස දන්නා ඔටු කුකුලන් සේ උන් උන්ගේ ගුණ ගත් මිථ්‍යාදෘෂ්ටි ගතුවෝ ඔවුන් සදෙනාගේ ගුණ කීහ.

එ කල සුධාභෝජනයෙහි රස දන්නා වූ තව්තිසා දෙවියකු සේ මාගේ ස්වාමිදරුවාණන්ගේ දහම් අමායෙහි මඳ රසයක් දත්තා වූ එක්තරා එක් ශ්‍රද්ධාසම්පන්න පුරුෂයෙක් හුනස්නෙන් පැන නැගී බුදුන් වන දෙසට වැඳලා “සත්ත්‍වයෙනි! තොප හැම කියන බස් වැසි බා පිහිලි වන්නා සේ හැල් බා දියෙහි ගැලෙන්නා සේ, අවු බා ගිනි වදනා සේ වැන්න. තෙපි තොපට වැඩක් කැමතියා නම් එ පවිටුන්ගේ බස් මා ඇසිය දී නො කියව. මාගේ ස්වාමිදරු වූ සකල ලෝක චින්තාමාණික්‍ය වූ බුදුරජාණන් මවු කුස පිළිසිඳගත් වේලෙහි ද, මවුකුසින් බිහි වූ වේලෙහි ද, මහණ වන දා නුවරින් නික්මුණු වේලෙහි ද, බුදු වූ වේලෙහි ද, දම්සක් දෙසූ වේලෙහි ද, කිඹුල්වත රුවන්සක්මන දී යමා මහ පෙළහර පෑ වේලෙහි ද, සැවැත් නුවර රුවන් සක්මන දී යමක ප්‍රාතිහාර්‍ය්‍ය පෑ වේලෙහි ද, මෙම නුවර පාටිකාරාමයෙහි රුවන් සක්මන දී ප්‍රාතිහාර්‍ය්‍ය පෑ වේලෙහි දැ යි යනාදි වූ නො එක් බුදු මඟුලෙහි දෙතිස් පූර්ව නිමිත්තා දී නො එක් අද්භූතයෙන් මුළුලෝ විස්මයපත් වී ම ය. ඒ ඒ ස්ථානයෙහි දී ඔබගේ කල්පනාවක් නැති ව පවා ලෝකයෙහි පොකුරු වැසි ත් වට ම ය. මාගේ ඒ ස්වාමිදරුවාණෝ තොපගේ මේ නුවර ඉදින් ශ්‍රී පාදය තබා වදාළ සේක් වී නම් එ පමණෙකින් ම මේ නුවර ඇති සියලු රෝගාන්තරාය හිරු දුටු අන්‍ධකාරයන් සේ අන්තර්ධාන වේ ම ය. වැසි වැස තොප ඇමගේ සියලු ඇඟ ගිම් දිය දුටු කුණපයන් සේ අන්තර්ධාන වේ ම ය. තොප තොපට වැඩක් කැමැතියා නම් මාගේ බුද්ධ නමැති කල්පදාමය මෙ නුවරට වඩා ගෙනෙව”යි කීහ.

එ වේලෙහි සියලු රජ පිරිස සාධුකාර දී “ඒ බුදුහු දැන් කොයි වැඩ වසන සේක් දැ”යි විචාරා “රජගහ නුවර බිම්බිසාර රජ්ජුරුවන් නිසා වේළුවනාරාමයෙහි වසන සේකැ”යි අසා ලිච්ඡවී රජුන් දෙදෙනකු තෝරා ඔවුන්ට මහ පිරිස් දී බිම්සර රජ්ජුරුවන් කරා යවූහ. බිම්සර රජ්ජුරුවෝ ඔවුන් අතින් එ පවත් අසා “බුදුහු නම් සියලු සතුන්ට ම සාධාරණ සේක. මාගේ ගම වැඩ හුන් බුදුන් අනික් ගමකට වැඩ වදාළ මැනැවැ යි මම ආරාධනා කළ නො හැක්කෙමි. තෙපි ම ගොස් සැලකරව”යි එම ලිච්ඡවී රජදරුවන් දෙදෙනා ම බුදුන් කරා යවූහ. ඔහු දෙදෙනා ගොස් බුදුන් දැක තමන්ගේ නුවර උපන් මේ විපත්තිය කියා බුදුන් එ නුවරට වඩනා පරිද්දෙන් යාච්ඤා කළහ.

ස්වාමිදරුවෝ එ වේලෙහි දිවැසින් බලා එ නුවර තමන් වහන්සේ වැඩිකල වැසි වස්නා නියාවත්, රතන සූත්‍ර නම් දේශනාවක් කරන නියාවත්, එ වේලෙහි සියලු සතුන්ගේ රෝග සන්හිඳෙන නියාවත්, ඒ දේශනාව උදෙසා පස්ලක්‍ෂ අට අසූ දහසක් ප්‍රාණීන් අමා මහ නිවන් දක්නා නියාවත්, නැවත ඒ දේශනාව කෙළ ලක්‍ෂයක් සක්වළ පැතිර පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි ලෝවැඩ කරන නියාවත්, කරතලාමලයක් සේ දැක සත්ත්‍වයන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් “යහපත, විශාලා මහනුවරට එමි”යි අනු දැන වදාළ සේක.

බිම්සර රජ එ පවත් අසා බුදුන් කරා ගොස් “ස්වාමිනි! විශාලා මහනුවරට වඩනා සේක් දැ”යි විචාරා “යෙමි මහරජැ”යි වදාළ කල “එසේ වී නම් ස්වාමීනි! ගැත්තහු මාර්ගය සරහා පූජාවක් සපයාලන තෙක් දෙතුන් දවසක් බලා වදාළ මැනැවැ”යි බුදුන් රඳවාලා ඇතුළු නුවරට ගොස් ඇතුළු නුවර පිටි නුවර බෙර ලවා අටළොස් කෙළක් පමණ මහ සෙනග රැස්කොට එම විට ම නික්ම රජගහ නුවර පටන් දෙනුවරට අතුරෙහි ගංගා නම් ගඟ දක්වා පස් යොදුන් මාර්ගය මුළුල්ලෙහි පුළුලෙන් ඉස්බක් පමණ අවකාශය බෙරතලයක් සේ තනා, යොදුන් යොදුන් තැන විහාරය බැගින් කරවා බුදුන් වඩනා පරිද්දෙන් ආරාධනා කළහ. එ වේලෙහි බුදුහු පන්සියයක් මහ රහතන් පිරිවරා තරු පිරුවරු සඳ සේ සවණක් රසින් දිලිහි දිලිහී නික්මුණු සේක.

එ කල බිම්සර රජ්ජුරුවෝ ඒ පස්යොදුන් පමණ මග කළුවැලි පියා, සුදු වැල්ලෙන් තවරා, දන පමණ කටි පමණ පස්වනක් මලින් තනා, දෙපස කෙහෙල් තොරණ පිළි තොරණ ධ්වජ පුන්කලස් තනා, බුදුන් සිරසට අනගි වූ මතු මතුයෙහි සේසත් දෙකක් හා පන්සියයක් රහතන් හිසට පන් සියයක් සේසත් ලවා, තමන්ගේ පිරිවර හා සමඟ සුවඳින් මලින් පුද පුදා, එකි එකී විහාරයෙහි එකි එකී දවස් බුදුන් සතප සතපා මහත් වූ දාන පූජාවෙන් පස්වන දා ගංතොටට වඩාගෙන ගොස් නැව් අගුළු සරහන්නට පටන් ගන්වා, එ කෙණෙහි විශාලා මහ නුවරට කියා යවුවාහු ය.

එ වේලෙහි ලිච්ඡවි රජදරුවෝ බුදුන් මඟට වැඩි පවතුත් බිම්සර රජ්ජුරුවන් කැර වූ පූජාත් අසා “අපි ඔවුන්ට දියුණුව පූජා කොට බුදුන් වඩා ගෙනෙම්හ”යි වාසි කියා තමන්ගේ විශාලා නුවර පටන් ගංතොට දක්වා තුන් යොදුන් පමණ මාර්ගය කැටක් මුලක් නො තබා තලි පිටක් සේ තනවා, මඟ ධ්වජ පුන් කලස් ආදියෙන් දියුණුකොට සරහා, බුදුන් හිසට සේසත් සතරක් හා පන්සියයක් රහතන් හිසට දෙ සේසත් බැගින් දහසක් සේසත් ගෙන්වාගෙන අවුදින් ගංතොට සිටගත්හ.

ඉක්බිත්තෙන් බිම්සර රජ්ජුරුවෝ අගුළු දෙකක් අලඞ්කෘත කොට නිමවා ඒ මතුයෙහි විචිත්‍ර වූ මණ්ඩපයක් නිමවා, මල්දම් ආදියෙන් සරහා, මණ්ඩප මධ්‍යයෙහි සත්රුවන්මය වූ බුද්ධාසනයක් පනවා බුදුන්ට ආරාධනා කළහ. බුදුහු පන්සියයක් මහ රහතන් සමග ඒ මණ්ඩපයට නැඟී බුද්ධාසනයෙහි වැඩහුන් සේක. රජ්ජුරුවෝ කර පමණක් දියට බැස බුදුන්ට පසු ගමන් කොට “ස්වාමීනි! යම් දවසක් මෙ තෙනට වඩනා සේක් වී නම් එ දවස් දක්වා මම් මේ ගංතොට ම බල බලා හිඳිමි”යි නැවැත්තාහ. එ කල මෙසේ මහත් වූ පූජාවෙන් ඒ මණ්ඩපයෙන් වැඩ ලිච්ඡවිරජුන් සිටි ගංතොටට පැමිණිසේක.

එ කෙණෙහි ස්වාමිදරුවන් ඒ ලිච්ඡවි රජුන්ගේ සීමාන්තරයට වඩු ත් වඩු ත් තුන් හවුරුද්දක් මුළුල්ලෙහි පොදක් බිම නො හෙලා මේඝ නාදයක් නැති ව තුබූ තුන් සියක් යොදුන් රාජ්‍යය මුළුල්ලෙහි හැම ආකාශය අන්‍ධකාර ව ගෙන විදුලිය ගසා මේඝනාද දී, ශතපටල සහස්‍රපටල නඟා වැසිවලාකුල් දිවන්නට වන. එ වේලෙහි ස්වාමිදරුවන්ට පෙරගමන් කරන්නාහු කටි පමණක් දියට බැස සත්දහස් සත්සිය සත්දෙනකු පමණ ඇති ඒ ලිච්ඡවී රජදරුවෝ මහත් වූ ආදරයෙන් බුදුන් ගොඩට වඩා ගෙනාහ.

එ කෙණෙහි ස්වාමිදරුවන් දකුණු ශ්‍රී පාදය ගොඩ තිබීම හා සමඟ මැ දසදිගින් දිවු ඒ මහ පොකුරු වැස්ස ධාරානිපාතයෙන් වස්නට පටන් ගත. බිමින් දන පමණ, හිනිමස් පමණ මහවතුරු හැලි ගස ගසා දිවෙයි. ඒ සා ඝන මහා වර්ෂාවෙහි තෙමෙනු කැමැත්තෝ තෙමෙති. නො තෙමෙනු කැමැත්තෝ නො තෙමෙති. එ කල ඒ රාජ්‍යය මුළුල්ලෙහි ලක්‍ෂගණන් මිනීකුණු වතුරෙන් ගෙන ගොස් ගඟ ලා බිම ඉතා පරිශුද්ධ වි ය. ලිච්ඡවි රජදරුවෝ ඒ තුන් යොදුන් මාර්ගයෙහි හිනිමස් පමණ උස සුවඳ, මලින් තනා මහා පූජා කොට යොදනින් යොදනෙහි සතප සතපා මහ දන් දිදී විශාලා මහ නුවරට වඩාගෙන ගියහ.

ස්වාමිදරුවන් එ නුවරට වඩනා වේලෙහි සක්දෙව්රජ දෙදෙව් ලොව දෙවියන් පිරිවරාගෙන අවුදින් වැඳ ගියේ ය. මහේශාක්‍ය දෙවියන් එත් එත්, වරම් රජදරුවන් එත් එත්, අටවිසි යක්‍ෂ සේනාධිපතීන් එත් එත්, දෙතිස් මහා දිව්‍යපුත්‍රයන් එත් එත්, සියලු අමනුෂ්‍යයෝ සුළං දුටු පරඬලාපත් සේ ඒ ඒ දිගින් බා වෙවුල වෙවුලා දිවන්නට පටන්ගත්හ.

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ නුවර වාසල් දොර වැඩසිට ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්‍ද ස්ථවිරය! තෝ මාගේ රුවන් සූත්‍රය ඉගෙන ගෙන මාගේ මේ ශෛල පාත්‍රයෙන් පැන් ගෙන මහත් වූ පූජාවෙන් ලිච්ඡවි රජ දරුවන් හා සමග මෙ නුවර තුන් පවුරු අතුරෙහි සිසාරා ඇවිද, පිරිත් බැණ බැණ පැන් ඉස අරක්ගනැ”යි වදාරා අනඳ මහ තෙරුන් වහන්සේ පළමුව යවා වදාළ සේක. මෙසේ අනඳ මහ තෙරුන් වහන්සේ පාත්‍රාධාතුයෙන් පැන් ගෙන නුවර සිසාරා ඇවිද පිරිත් බණන්නට පටන් ගත් සේක. “යං කිඤ්චි විත්තං” යන ශබ්දය කියා පැන් ඉසලූ වේලෙහි යක්‍ෂයන් ඇඟට කකියන ලෝබින්දු ගසන්නා සේ භය විය. මනුෂ්‍යයන් ඇඟට අමා බින්දු ගසන්නා සේ ඒ පැන් ශාන්ත විය.

එ කල අමනුෂ්‍යයෝ රද මොහොල් හැරපු මහ සොරොවු සතරෙකින් නමා ගත් දියවතුරක් සේ, සසර මහ වාසලින් පිටතට දිවන්නට පටන් ගත්හ. පවුරු පදනම් බිඳ ඔවුනොවුන් පිටහී දිව එක අමනුෂ්‍යයකුත් ඇතුළෙහි සිට ගත නුහුනුයේය. හැම යක්‍ෂයෝ ම පැලැහ. එ කෙණෙහි දසවන අවස්ථාවෙහි ලෙඩින් මියන්ට ඔත් සත්ත්‍වයෝ පිරිත් පැන් ඇඟ වැකී ගිය ඇසිල්ලෙහි අමාපැන් ලද්දවුන් සේ සිහිනගෙයි දුටුවාවූ රෝගයක් සේ, සියලු රෝගම අන්තර්ධාන විය. හොත් හොත් පළින් නැඟී සිට, සුවඳ මල්පහන් ගෙන දිව දිව ගොස් මහ තෙරුන් වහන්සේ පිරිවරාගෙන. සතුටින් නට නටා, අත්පොළසන් දිදී, ඔල්වරසන් දිදී, අසුරුසන් දිදී, බුදුන් ගුණ කිය කියා, උත්සව කෙළි කෙළ දිවෙති.

රජදරුවෝ එ නුවර මධ්‍යයෙහි තමන් හැමදෙනා රැස් ව කතා කරන සන්ථාගාරය සිවුදෑගඳින් පිරිබඩගෙන රන්තරු-රිදීතරුයෙන් හොබනා වියන් බැඳ විසිතුරු වූ රන්තිරයෙන් පරික්‍ෂෙප කොට අනර්ඝ වූ බුමුතුරුණු අතුට, මණ්ඩප මධ්‍යයෙහි අනර්ඝ වූ බුද්ධාසනයක් පනවා, බුදුන් මහ පූජාවෙන් ඇතුළු නුවරට වඩාගෙන ගියහ. බුදුහු වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් සේක. පන්සියක් මහරහතන් හා, සත්දාස් සත්සිය සත් හා ලිච්ඡවි රජුන් හා, සිය දහස් ගණන් ඇමැති මඬුලු හා, ඇමදෙනා ම බුදුන් පිරිවරා හිඳගත් වේලෙහි ශක්‍ර දේවේන්‍ද්‍රයා දෙදෙව්ලොව දිව්‍ය සේනාව හා සමග දිව අවුදින් එ කුන් සියක් යොදුන් රාජ්‍යය මුළුල්ලෙහි වැසි වස්වා සියලු කුණපයන් දුරුකොට හදියක බෝමළුවක් හැමඳපුවා සේ, සියලු බිම ම පරිශුද්ධ කරවාලා එ තෙනට අවුදින් ආකාශයෙහි සිතියම් කඩක් විදා පෑලුවා සේ, සියලු සතුන්ට පෙනි පෙනී මහපෙළහරින් සපිරිවරින් සිටගත.

එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ ද නුවර සිසාරා ඇවිද සියලු සතුන්ගේ රෝග පීඩා සන්හිඳුවා මුළු නුවර වැසියන් ගෙන අවුදින් එකත්පස් ව උන් සේක.

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ මේ රුවන් සූත්‍ර දේශනාවෙන් ධර්මදේශනා කොට එම දා සුවාසූ දහසක් ප්‍රාණීන් අමාමහ නිවන් දක්වා මෙසේ ම මෙම සූත්‍රය පිට පිට ම සත්දවසක් දේශනා කොට දවස දවස සුවාසූදහසක් බැගින් පන්ලක්‍ෂ අටාසූ දහසක් ප්‍රාණීන් නිවන් දක්වා වදාළ සේක. මෙසේ සුවාසූ දහසක් ධර්මස්කන්‍ධයෙහි දහස් ගණන් සූත්‍රදේශනාවන් අතුරෙන් බුදුන් සත්වාරයෙක දේශනා කළා වූ සූත්‍රයෙක් මේ රුවන් සූත්‍රය විනා නැත් ම ය. එසේ හෙයින් බුදුන්ගේ ශ්‍රීමුඛ ශ්‍රී සත්වාරයෙක ලත් හෙයින් මේ රුවන් සූත්‍රය සියලු ධර්මයෙන් ම අග්‍ර වී ය යි දතයුතු.

මෙසේ බුදුහු දෙපෝයක් එනුවර වාසය කොට සියලු රෝගාන්තරායයන් සන්හිඳුවා ලිච්ඡවි රජුන්ට තමන් වහන්සේ වඩනා ආකාර දක්වා වදාළ සේක. නැවත ඒ ලිච්ඡවි රජදරුවෝ දියුණු කොට පූජා කරම්හ යි මඟ සරහා බුදුන් සිරසට සේසත් අටක් හා පන්සියක් මහරහතන්ට සතර සතර සේසත් බැගින් දෙදහසක් සේසත් සමග මහා පූජා කොට බුදුන් වඩා ගංතෙරට ගෙන ගියහ. ඒ ගංගාවෙහි අධිගෘහිත වූ දිව්‍යනාගරාජයෝ “මනුෂ්‍යයෝ තමන් තමන් ශක්ති පමණින් බුදුන්ට පූජා කළහ. අපි අපි දු අප ශක්ති පමණින් පූජා කරම්හ”යි සත්රුවන්මය වූ නැව මවාගෙන සියලු ගහ පස් පියුමෙන් දිය නො පෙනෙන සේ මවාගෙන අවුත් “ස්වාමිනි! ලොවුතුරා බුදුහු නම් සියලු සතුන් ගොඩ නගන සඳහාම බුදු වූහ. මේ සා වූ දිව්‍ය සම්පත් ඇතිවත් අපි අහේතුක යෝනියෙහි උපන්නා වූ අකුශල බලයෙන් අපි නුඹවහන්සේ වැනි බුදුකෙනකුන් දැක පවා දැන් මාර්ගඵල සුවයක් නොලබම්හ. එසේ දුක්පත් වූ නුඹගේ ගැත්තවුන්ට ද අනුග්‍රහ කොට වදාළ මැනැවැ”යි ආරාධනා කළහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ ඒ දිව්‍යනාගරාජයන්ගේ ආරාධනා ඉවසා ඔවුන් මැවූ සත්රුවන් නැවට පැන නැගි සේක. එ කල දිව්‍යනාගරාජයෝ බුදුන් හා පන්සියක් රහතන් තමන් තමන්ගේ පන්සියක් නැව්වලින් තමන් තමන්ගේ භවනට වඩාගෙන ගියහ. බුදුහු එදා රෑ දෙවරු දිව්‍යනාග රාජයන්ට ධර්මදේශනා කොට බොහෝ පින් රැස් කළ සේක. දෙවන දා උදාසන නයි තමන්ගෙන් ම දිව්‍ය වූ භෝජනත් වළඳවා මහත් වූ සත්කාර කළාහ. බුදුහු එ කල ඒ නයින්ට අනුමෝදනා බණ වදාරා නාගභවනයෙන් නික්මුණු සේක.

එකෙණෙහි භූමියෙහි වසන්නා වූ විමානස්ථ දෙවියෝ “මනුෂ්‍යයන් හා නාගයෝ තමන් තමන්ගේ පමණින් බුදුන්ට පූජා කළහ, අපි ද අප පමණින් පුදම්හ”යි මේ සක්වළ ගබ මුළුල්ලෙහි නොයෙක් පර්වත ගිරි කුළු මුදුනෙහි ය, නොයෙක් වෘක්‍ෂලතා මුදුනෙහි ය යි අවකාශයක් නැතිව යටත් වසයෙන් පිල ගස තණ ගස වසන දෙවියෝ දක්වා කුඩ පිට කුඩ නඟා පූජා කෙරෙමින් සක්වළ ගබ සේසතින් වසා සිට ගත්හ. මෙම ලෙසින් දෙවියෝ ඔවුනොවුන් බල බලා ආකාශස්ථ දෙවියෝ ය, විමානස්ථ දෙවියෝ ය, අභ්‍රවලාහක ය, උෂ්ණවලාහක ය, ශීතවලාහක ය, වාතවලාහක ය, වස්සවලාහකාදි දෙවියෝ ය, චාතුර්මහාරාජිකාදි සදෙව්ලෝ වැසි දෙවියෝ ය, අරූතල අසංඥතලයන් හැර පසළොස් බ්‍රහ්මලෝකවල දෙවියෝ ය යි හැම දිව්‍යයෝ බ්‍රහ්මයෝ “අපි අපි ද ඒ උතුමාට අද සේසත් පූජා කරම්හ”යි ඔවුනොවුන් පරයා දිව අවුදින් නාගභවනයෙහි පටන් අකනිටා බඹලොව දක්වා මුළුලොව සේසතින් වස්වා සිටගෙන පූජාවට පටන්ගත්හ. එ දවස් දෙවියන් මාගේ බුදුන්ට කළා වූ සේසත් පූජාවට අනික් උපමාවක් දැක්ක නොහෙම් ම ය. සාරාසඞ්ඛ්‍යය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි පූරණය කළා වූ සමත්‍රිංශත් පාරමිතාභූමියෙන් පැනනැංගා වූ ඔබගේ යසස් නමැති මහ ලිය ය එදා මල් පිපී වැනී ගියා දෝ හෝ යි සිතමි.

දිව්‍ය නාගාදීන් කළ ගංගාරෝහණ පූජාව

මෙසේ මහත් වූ පූජා විඳ විඳ බුදුන් ගංතොටට වැඩි කල බිම්සර රජ්ජුරුවෝ බුදුන් වැඳ වැඳ බලා සිටියාහු “මම ද ලිච්ඡවි රජුන් කළ පූජාවට දියුණුකොට පූජා කෙරෙමි”යි බුදුන් සිරසට සේසත් සොළොසක් හා පන්සියක් රහතන්ට අට අට සේසත් බැගින් සාරදහසක් සේසත් හා සමග මහත් වූ පූජා කොට කොට, යොදනෙන් යොදනෙහි සතප සතපා මහදන් දිදී රජගහ නුවර වේළුවනාරාමයට බුදුන් වඩාගෙනාහ. මෙසේ ස්වාමිදරුවන් පූජාවෙන් ඒ ගඳකිළියට වැඩ ශයනප්‍රාප්ත වූ කල, එම දා සවස් වේලෙහි භික්‍ෂුගණයා ධර්මසභාමණ්ඩපයෙහි රැස් ව බුදුන්ගේ ගුණ කථනය කරන්නාහු “ඇවැත්නි! බුද්ධානුභාවයක් බලව. බුදුන්ගේ පුණ්‍යප්‍රභාවයක් බලව, බුදුන්ගේ යශෝරාශියක් බලව, බුදුන්ගේ මහිමයක් බලව” යනාදීන් බුදුන් ලද ගඞ්ගාරෝහණ පූජාවට ස්තුති කොට කොට වැඩහුන් සේක.

එ කල ස්වාමිදරුවෝ දෙවි බඹුන්ගේ කීරුළුකුළු මිණිරසින් දිලියෙන විශාල වූ ශාලපංක්තීන් හා, භිත්තිස්තම්භසොපාන මාලාවෙන් අලඞ්කෘත වූ, ප්‍රාසාද පංක්තීන් හා, චන්‍ද්‍රකාන්ති සෙයින් පරිශුද්ධ වූ වාලුකාතලයෙන් හා, විසිතුරු වූ, ලතා මණ්ඩපයෙන් හා, පස්පියුමෙන් සැදි පොකුණු පඞ්ක්තීන් හා, විරාජමාන වූ ස්වර්ණ සුරභි සුගන්‍ධ පුෂ්පෝපහාර සමලඞ්කෘත වූ භූමිභාග ඇති සුගන්‍ධ ගන්‍ධ කුටියෙහි වැඩහිඳ, මහාකරුණා සමාපත්ති - ඵල සමාපත්ති ආදි වූ අනේකප්‍රකාර සමාපත්ති සමවදනා සේක් අත්‍යන්ත පරිශුද්ධ වූ තමන් වහන්සේගේ දිව්‍යශොත්‍රැ ධාතුයෙන් ධම් සභාමණ්ඩපයෙහි උපන්නා වූ ඒ කථා ස්වරූපය අසා වදාරා. මේ භික්‍ෂූහු දම් සභාවට රැස් ව හිඳ මාගේ ආනුභාව හා පින්බල කියති. මා විසින් පූර්ව ජන්මයෙහි කළා වූ කුශල මූලය භස්මයෙන් පටිච්ඡන්න වූ ජාත වේදයක් සේ භවයෙන් පටිච්ඡන්න හෙයින් මට මුත් ඔවුන්ට අප්‍රකාශ ය. මා දම්සභා මණ්ඩලයට ගියකල මේ කතා ස්වරූපය මට කියති. මම ඒ අර්ථෝත්පත්ති කොට ගෙන මා පූර්වජාතියෙහි කළා වූ කුශලමූලය ඔවුන්ට ප්‍රකාශ කෙරෙමි යි සිතා වදාරා.

නානා මනිප්‍රභාවිසර විෂ්ඵුරිත විස්තීර්ණ වර රුචිර සුගන්‍ධ ගන්‍ධ කුටිවාසය මහා කරුණා ඥානයෙන් දුරුකොට බුද්ධාසනයෙන් ශුද්ධාසනයෙන් පැන නැඟී ලාක්‍ෂාරසයෙන් තෙත් වූ අභිනව ප්‍රබුද්ධ රක්තකෝවිළාර කුසුමවර්ණ සුරක්ත වූ දෙපට සිවුර රන් මෙරක් සන්‍ධ්‍යා වලාපටලයෙකින් වසන්නා සේ සිසාරා රන්කතුරෙකින් රත්පියුම්පෙති කලබක් කපන්නා සේ ත්‍රිමණ්ඩල ප්‍රතිච්ඡාදන වසයෙන් සංවිධාන කොට හැඳ, රත් වලාගබෙකින් නිකුත විදුලියක් රැළි දෙන්නා සේ, රත්පියුම්පෙති කලබක් රන් පමුදකින් පරික්‍ෂිප්ත කරන්නා සේ, සශ්‍රීක වූ පටිධාතුව බැඳ, රත්පළස්කඩකින් රන්ගලක් වසන්නා සේ, චිත්‍රකූට පර්වතය බඳුවදමල් රැසෙකින් වසන්නා සේ, මහ පොළෝ සක්වළගල් මෙරගල් යුගන්‍ධරාදි පර්වතයන් එක පැහැර කම්පා කෙරෙමින්, අසාධාරණ ප්‍රාතිහාර්‍ය්‍යයෙන් උපන්නා වූ නිග්‍රොධ ඵල සමාන වර්ණවර රුචිර පංශුකූල චීවරය ධරා, නීල, පීත, ලෝහිත, ඕදාත, මාඤ්ජිෂ්ඨ, ප්‍රභාස්වර යයි යන සවනක් රැසින් දිලියෙමින් ඝන බුද්ධරශ්මිමාලාවන් යන්ත්‍ර නලින් මඩනා වූ ස්වර්ණරසධාරා සේ, දොරකවුළු[89] අසු අස්සෙන් බල බලා දශදිගන්තරයෙහි බ්‍යාමප්‍රභා ව්‍යාප්තකෙරෙමින්, අපිරිමිත වූ පුණ්‍යප්‍රභාවයෙන් විවෘත ද්වාර ඇති ගන්‍ධකුටිද්වාරයෙන් මේඝමුඛයෙකින් නිකුත් පූර්ණ චන්ද්‍රයාගේ ලීලා පරදවමින්, රන්ගල් ගුහායෙකින් නිකුත් අභීත කේශරසිංහ රාජයක්හුගේ වික්‍රම අවික්‍රම කෙරෙමින්, නීල වලාභ්‍යන්තරයෙන් නික්මුනා වූ සියරැළි විදුලිය කලබක්හුගේ ලීලාවට නින්දා කියවමින්, පද්මගර්භයෙක්හි වාසය කොට අභිමතස්ථාන ගත ස්වර්ණභෘඞ්ගරාජයක්හු සේ මෙසේ ඒ ගන්‍ධකුටියෙන් නික්ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ශ්‍රි ශෝභාවන් කරණකොට ගෙන සන්‍ධ්‍යාප්‍රභානුරඤ්ජිත ඉන්‍ද්‍රචාප විද්‍යුල්ලත, පරික්‍ෂිප්ත කනක ගිරිශිඛරයක් සේ දිලිසෙමින්, අචින්ත්‍ය වූ, අනූපම වූ, අසදෘශ වූ, අනන්‍ය සාධාරණ වූ, බුද්ධලීලාවෙන් සම්ප්‍රාප්ත වූ, පර්ෂදට අනුරූප වූ, තුන් ප්‍රකාරයෙන් එක්තරා එක් ප්‍රාතිහාර්‍ය්‍යයෙකින් දම්සභාවට වඩිත්.

කෙසේ ද? බුදුහු සමහර දවසෙක පර්ෂද්ගේ අදහස් බලා ගන්‍ධ කුටියෙහි දී පොළෝ කිමිද වැඩ බුද්ධාසනය මැදින් යුගඳුරු මුදුනට පැන නැගී ලහිරු මඬලක් සේ පෙනි පෙනී වැඩ හිඳිනා සේක. සමහර දවසෙක ගඳකිළියෙහි කැණිමඬල දෙබෑ කොට ගෙන ආකාශයෙන් වැඩ ධර්මශාලාවෙහි කැණිමඬල පලාගෙන බැස, හස්තගිරි පර්වතයට ගොසින් බට පුන්සඳක් සේ ධර්මාසනයේ පෙනී යන සේක. සමහර දවසෙක නැගු නැගු පත්ලෙහි පියුම් දක්ව දක්වා මහත් වූ ප්‍රාතිහාර්‍ය්‍යෙයන් දම්සභාවට වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩසිටිනා සේක.

කෙසේ වූ දම්සභා මණ්ඩලයෙක් ද? යත්; නෛක බ්‍රහ්මසුරා සුරෝරඟ දේව දානවාදි දිව්‍යසමූහයන්ගේ ශරීරප්‍රභායෙන් හා, අපරිමිත රාජර්ධි සම්පන්න රාජාධිරාජ ප්‍රශස්ත උත්තමරාජයන්ගේ කිරුළුකුළුමිණිරසින් හා, රන්රිදී මිණි තරුපෙළින් විසිතුරු වූ විතානපඞ්ක්තීන් හා, නානා ස්ථානයෙහි එල්වන ලද චම්පක පාරිජාත මන්‍දාර කෙතකාදි කුසුම් දාමයෙන් හා, ගන්‍ධ මාලා ධූප දීපාදි නානා ප්‍රකාර පූජාවස්තු විශේෂයෙන් හා, සුවඳ තෙලින් දිලිසෙන රන්වැට ප්‍රදීප සහස්‍රයෙන් හා, ඒකාලෝක වූ, ඒකොද්භූත වූ ඒකාලඞ්කාර වූ, ඒකප්‍රසන්න වූ, රාජභවන ශ්‍රි මඬනා වූ, දිව්‍යභවන ශ්‍රී කැඳවන්නා වූ බ්‍රහ්මා‘වර යන රසායන වූ, මෙසේ වූ, අලඞ්කෘත ධර්මසභාමණ්ඩලයට සුවිනීත වූ ඇත්මුළක් ළඟට වදනා ගන්‍ධ හස්ති රාජියක්හු සේ, සිංහසමූහයක් මැදට වදනා අභීත කේශර සිංහරාජයකු සේ, වැඩ අලඞ්කෘත වූ රත්න මණ්ඩප මධ්‍යයෙහි පනවන ලද බුද්ධාසනයට පැනනැගී, සුපුෂ්පිත වූ ශාලද්‍රමරාජයක්හු සේ දිලිහි දිලිහී වැඩහිඳ.

තමන් වහන්සේ වීතරාගී වූ සේක්, වීතද්වේෂී වූ සේක්, වීතමෝහී වූ සේක්, තෘෂ්ණා රහිත වූ සේක්, නික්ලෙශ වූ සේක්, ස්වයං බුද්ධ වූ සේක්, ශාන්ත වූ සේක්, දාන්ත වූ සේක්, සුවිනීත වූ සේක් සුප්‍රාව්‍රත වූ සේක්, ශාන්ත වූ ඉන්‍ද්‍රියයන් ඇති සේක්, ශාන්ත වූ සිත් ඇති සේක්, ශාන්ත වූ කාය ඇති සේක්, අල්පේච්ඡ වූ සේක්, සන්තුෂ්ට වූ සේක්, ප්‍රචිවික්ත වූ සේක්, අසංසෘෂ්ට වූ සේක්, චෝදක වූ සේක්, පාපගර්හිත වූ සේක්, ආරබ්ධ වූ වීර්‍ය්‍ය ඇතිසේක්, වචනක්‍ෂම වූ සේක්, ශීලසම්පන්න වූ සේක්, සමාධිසම්පන්න වූ සේක්, ප්‍රඥාසම්පන්න වූ සේක්, විමුක්තිසම්පන්න වූ සේක්, විමුක්තිඥානදර්ශනසම්පන්න වූ සේක්, වන්තදෝෂ ඇති වූ සේක්, භින්නපටධර වූ සේක්, භින්න ක්ලේශ වූ සේක්, ඡින්නබන්‍ධන වූ සේක්, විජටිත ජටා ඇති සේක්, තමන් වහන්සේ සේම වීතරාගී වූ, වීතද්වේෂී වූ, වීතමෝහී වූ, තෘෂ්ණා රහිත වූ, නික්ලේශී වූ, අනුබුද්ධ වූ, ශාන්ත වූ, දාන්ත වූ, සුවිනීත වූ, සුප්‍රාව්‍රත වූ, ශාන්ත වූ ඉන්‍ද්‍රියයන් ඇති, ශාන්ත වූ සිත් ඇති, ශාන්ත වූ කාය ඇති, අල්පේච්ඡ වූ, සන්තුෂ්ට වූ, ප්‍රවිවික්ත වූ, අසංසෘෂ්ට වූ, චෝදක වූ, පාපගර්හිත වූ, ආරබ්ධ වීර්‍ය්‍ය වූ, වචනක්‍ෂම වූ, ශීලසම්පන්න වූ, සමාධිසම්පන්න වූ, ප්‍රඥා සම්පන්න වූ, විමුක්ති සම්පන්න වූ, විමුක්තිඥානදර්ශන සම්පන්න වූ, වන්තද්වේෂී වූ, භින්නපටධර වූ, භින්න ක්ලේශ වූ, විජටීත ජටා ඇති වූ, ඡින්නබන්‍ධන වූ, සංඝසමූහයා මධ්‍යයෙහි.

වෘෂභගණයා පිරිවැරූ වෘෂභරාජයා සේ, සිංහගණයා පිරිවැරූ සිංහරාජයා සේ, ගරුඩගණයා පිරිවැරූ ගරුඬරාජයා සේ, සියරස් පිරිවැරූ දිවසකර රාජයා සේ, පහන් දහස් පිරිවැරූ පහන් රුකක් සේ, රත්පියුම් සාගරමධ්‍යයෙක්හි ශෝභමාන වූ කනක නෞකාවක් සේ, ප්‍රවාලවේදිකා මැද දිලියෙන කනක ප්‍රාසාදයක් සේ, පත්‍රපරිවෘත වූ කේශර පුඤ්ජයක් සේ, කේශර පිරිවැරූ කර්ණිකා රාජයක් සේ, අටදහසක් ඇතුන් පිරිවැරූ ඡද්දන්ත නම් හස්තිරාජයා සේ, අනූදහසක් හංසයන් පිරිවැරූ ධ්‍රැතරාෂ්ට්‍ර නම් හංස රාජයා සේ, දිව්‍යගණයා පිරිවැරූ සුජම්පති නම් සක්දෙව් රජු සේ, බ්‍රහ්මගණයා පිරිවැරූ හාරිත නම් බ්‍රහ්මරාජයා සේ, අශ්වගණයා පිරිවැරූ වලාහක නම් අශ්වරාජයා සේ, මහපිරිස් පිරිවැරූ චක්‍රවර්ති රාජයා සේ, සඳ වලා පිරිවැරූ දිලියෙන නකත් තරුවක් සේ, තරුගණයා පිරිවැරූ ශරච්චන්‍ද්‍රරාජයා සේ, මණිගණයා පිරිවැරූ සිතුමිණි රුවනක් සේ, කුලපව්වන් පිරිවැරූ කනක මේරුරාජයා සේ, ඉතා මහත් වූ බුද්ධානුභාවයෙන්, බුද්ධශ්‍රීන්, බුද්ධතේජසින්, බුද්ධ වික්‍රමයෙන්, බුද්ධඥානයෙන්, දිලිහි දිලිහී.

ව්‍යාමප්‍රභාමණ්ඩලයෙන් පරික්‍ෂිප්ත වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන් කරණකොටගෙන පිළිවෙලින් ගොතා තුබූ චන්‍ද්‍රයන් දෙතිස් දෙනකුගේ, සූර්‍ය්‍යයන් දෙතිස් දෙනකුගේ, චක්‍රවර්ති රජුන් දෙතිස් දෙනකුගේ, ශක්‍රයන් දෙතිස් දෙනකුගේ, බ්‍රහ්මෙන්‍ද්‍රයන් දෙතිස් දෙනකුගේ, ශ්‍රී විභූතියට නින්‍දා කරවමින් යුගදුරු මුදුනෙහි දිලියෙන බාලාර්‍කමණ්ඩලය සේ, පර්වත මුදුනෙක්හි දිලියෙන ඝනරන්කඳක් සේ කාලාන්‍ධකාරයෙක දිලියෙන දෑරගමිණි පර්වතයක් සේ, ෂඩ්වර්ණ වූ ඝනබුද්ධරශ්මිමාලාවෙන් සියලු ධර්මසභා මණ්ඩලය එකපැහැර බබුළුවමින් යථෝක්ත වූ බුද්ධාසනයෙහි වැඩහිඳ.

රන්මාලිගාවෙක්හි මැවීගිය ඉඳුනිල්මිණි කවුළු සඟළක් හරණ සේ, තමන් වහන්සේගේ පස්වනක් පෑයෙන් දිලියෙන දිගු පුළුල් ඇස් සඟළ උන්මීලනය කොට, පඤ්චවර්ණ ප්‍රභා ධර භෘඞ්ගරාජ යුගලයක් රත්පියුම් වනයෙක්හි ඇවිදුවන්නා සේ, වාත රහිත ස්ථානයෙක නිශ්චල ව පිපී වැනී ගියා වූ රත්පියුම් වනයක් සේ, මේඝවර්ණ වූ පාංශුකූල චීවර දරා, ක්‍ෂාන්ත්‍යාදි ප්‍රතිපත්තීන් නිශ්චල ව වැඩහුන්නා සේ සඞ්ඝසමූහයා බලා වදාරා “මේ මාගේ භික්‍ෂු පර්ෂද ඉතා හොබනේ ය. එක ද භික්‍ෂුවක්හුගේ කැස පියන කිබිස පියන හඬෙක් වත්, හස්තචලන, පාදචලන, ආශ්වාස ප්‍රශ්වාසාදි කිසි ම අරගලයෙක් වත් නැත. සර්වාභරණයෙන් සැරහී දෙවඟනන් බඳු වරඟනන් පිරිවරා මා කරා අවුත් සිටිනා ක්‍ෂත්‍රිය පර්ෂදක් හෝ, චක්‍රවර්ති පර්ෂදක් හෝ, කාමාවචර දිව්‍යපර්ෂදක් හෝ, රූපාවචර බ්‍රහ්ම පර්ෂදක් හෝ, ඉදින් මේ ස්ථානයෙහි ඇත ත් ඔවුන් සානුරාග වසයෙන් කර ඔසවා බලන එක ද භික්‍ෂුකෙනෙක් නැත. යම් සේ අභ්‍ර ය, මහීක ය, ධූම ය, රජස් ය, රාහු ය යි යන පඤ්චොපක්ලේශයෙන් දුරු වූ සම්පූර්ණ චන්‍ද්‍රයා බලන්නවුන් සේ මාගේ මුඛ මණ්ඩලය බල බලා හිඳිති. මේ මාගේ භික්‍ෂූහු බුද්ධ ගාරවයෙන් සගාර ව වූවාහු, බුද්ධතේජසින් තැති ගත්තාහු, මම මාගේ ආයුෂ් කල්පය මුළුල්ලෙහි ත් ප්‍රථමාරම්භ වූ කිසි කථාවක් නො කොට නිශ්ශබ්ද ව හුන්නෙමි වීම් නම් මට පළමු කොට මුඛ සොලවා කථාවක් උපදවන්නා වූ එක ද භික්‍ෂුවක් මේ පර්ෂදෙහි නැත. මම් ම පළමුකොට කථාවක් උපදවමි”යි සිතා වදාරා.

සඳවලාගබෙකින් ද්විතීය චන්‍ද්‍රිකාව දැක්වූවා සේ තමන් වහන්සේගේ ඉතා සුරක්ත වූ අධරෝෂ්ඨයන් දෙදෙනා අතුරෙන් දන්තශ්‍රී දක්ව දක්වා තමන් වහන්සේගේ වාග් සුචරිතානුභාවයෙන් ජනිත වූ, දිව්‍යගන්‍ධයෙන් සුගන්‍ධ වූ, නානා ගන්‍ධයෙන් සම්පූර්ණ වූ, රුවන් කරඬුවක් හරණා සේ, මුඛ නමැති පියුම් කරඬුව හැර පාරමිතා නමැති ජලයෙන් පිරුණා වූ, බුද්ධඥාන නමැති සූර්‍ය්‍ය රශ්මීන් බුද්ධ වූ, මොළොක් තුනු පළල් ජිහ්වාධාතු නමැති කෙමි ඇති, සමශුද්ධ වූ අවිවරචත්තාළීස දන්තධාතු පඞ්ක්ති නමැති කේශර පඞ්ක්ති ඇති, සුරක්ත වූ, අධරෝෂ්ඨ පල්ලව යුග්ම නමැති පියුම් පත් ඇති, සද්ධර්ම නමැති මධුබින්දු වහනය කරන්නා වූ සශ්‍රීක වූ මුඛ නමැති පද්මයෙන් සුවඳගඳ විහිදුවා බැණනැගි බසින් සියලු දම්සභා මණ්ඩලය එක පැහැර සුවඳ පිඬක් සේ කෙරෙමින්, මධු මද මුදිත ලලිත රතිකර මනෝහර කුරවීකනාද නිර්විශේෂ අෂ්ටාඞ්ගසමුපෙත නානා නය නිපුණ අනෙකාධ්‍යාශයා‘නුකූල අර්ථ ව්‍යඤ්ජනසම්පන්න විවිධ ප්‍රාතිහාර්‍ය්‍ය ධර්මාවදේශනා ප්‍රතිවේධ ගම්භීර වූ, සර්වසත්ත්ව ස්වකීය භාෂානුරූප ලක්‍ෂණීය ස්වභාව සානුරාග ශ්‍රවණීය මධුර වූ වචනයෙන් “මහණෙනි! මා එන්නාට පූර්වභාගයෙහි මෙ තෙන කෙබඳු වූ කථාස්වරූපයෙකින් යෙදි උන්නාහු දැ”යි විචාරා වදාළ සේක.

එ කල්හි භික්‍ෂූන් වහන්සේ ප්‍රේමණීය වූ, කර්ණ රසායන වූ, හෘදයට අමෘතාභිෂේකයක් වැනි වූ, ඒ මනෝහර නාදය අසා “ස්වාමීනි! නුඹවහන්සේ ‘මහණෙනි! මේ මේ කථාවෙහි නො යෙදෙව”යි අප මහණ වූ දා ම අප උගන්වා වදාළා වූ රාජකථා ය, චෝරකථා ය, මහාමාත්‍ය කතා ය, සේනා කථා ය, භයකථා ය, යුද්ධ කථා ය, හානි කථා ය, අන්නකතා ය, පානකථා ය, යානකථා ය, සයන කථා ය, මාල කථා ය, ගන්‍ධ කථා ය, තුරීය කථා ය, ගාම කථා ය, නිගමකථා ය, නගර කථා ය, ජනපද කථා ය, ඉත්‍ථිකථා ය, ධුත්ත කථා ය, සූර කථා ය, විසිඛා කථා ය, කුම්භට්ඨාන කථා ය, පුබ්බපෙත කථා ය, නානාවස්තු කථා ය, ලොකක්ඛායික කථා ය, සමුද්දක්ඛායික කථා ය, ශාශ්වතදෘෂ්ටි කථා ය, උච්ඡේද දෘෂ්ටිකථා ය, වෘද්ධි කථා ය, කාමසුඛ කතා ය, අත්තකිලමථානුයේග කථා ය යන මේ දෙතිස් කථාවෙන් කථාවක් නො කළම්හ. මහණෙනි, මේ මේ කථාවෙහි යෙදෙව යි නුඹවහන්සේ උගන්වා වදාළා වූ දාන කථා ය, ශීලකථා ය, නෛෂ්ක්‍රම්‍ය කථා ය, ප්‍රඥා කථා ය, වීර්‍ය්‍ය කථා ය, ක්‍ෂාන්ති කථා ය, සත්‍ය කථා ය, අධිෂ්ඨාන කථා ය, මෛත්‍රී කථා ය, උපේක්‍ෂා කතා ය යි යන මේ දශවිධ වූ කථාවන් අතුරෙන් දානකථාවෙහි අන්තර්ගත වූ කථාවෙක ම යෙදී උනුම්හ. ඉනුත් නුඹවහන්සේ මේ විශාලා මහනුවරට වැඩ ලද්දා වූ මහත් පූජා විශේෂයක් නුඹවහන්සේගේ ඉතා මහත් වූ බුද්ධානුභාවයක් ම කිය කියා උනුම්හ” යි කී සේක.

එ කල ස්වාමිදරුවෝ “මහණෙනි! මේ සා පූජාවක් මාගේ බුද්ධානුභාවයෙකින් ලදහ යි නො සිතව. මේ ලෝකයෙහි සියලු කුශලා‘කුශල ධර්මයෝ ම තරාදිය සේ ඉතා සූක්‍ෂම වූ වාසි ඇතියාහ. එසේ හෙයින් ලොවුතුරා බුදුවුවත් පුරාකෘත වූ කුශල ධර්මය ම ප්‍රත්‍යය වන්නේ ම ය”යි වදාරා තුෂ්ණීම්භූත ව වැඩඋන් සේක.

එ වේලෙහි එක් භික්‍ෂුකෙනකුන් වහන්සේ හුනස්නෙන් පැනනැඟී සකසා වැඳ පෙරව කායබන්‍ධනධාරී ව නැමි නැමී ගොස් බුදුන් වැඳ සිංහරාජයකු දුටු ඇත්පැටවකු සේ බුද්ධතේජසින් භය ගෙන බද්ධාඤ්ජලි ව සිට “ස්වාමීනි! ශාක්‍යසිංහ වූ බුදුරජාණෙනි! තුන් ලොවට ඇසක් වැනි වූ ස්වාමිදරුවාණෙනි! නුඹවහන්සේ දැන් ලද්දා වූ මේ පූජාව අප හැමට ප්‍රත්‍යක්‍ෂ ම ය. පෙර නුඹවහන්සේ මෙසේ වූ පූජාවිශේෂයක් ලබන්නට කළා වූ කුශල මහිමය කෙසේ ද? ඒ අසනු කැමැත්තම්හ”යි ආරාධනා කළ සේක.

පූර්‍වකුශලය දේශනා කිරීම

එ වේලෙහි ස්වාමිදරුවෝ පයියකින් වසා තුබූ රන් කැටපතක් හයා පානා සේ, භවයෙන් වැසී තුබූ තමන් වහන්සේගේ පූර්වචරිත පාරමිතාවක් දක්වා වදාරණ සේක්. මහණෙනි! පෙර මා සසර පාරමිතා භූමියෙහි ඇවිදිනා වූ සමයෙහි ශඞ්ඛ නම් බ්‍රාහ්මණ කල, ඒ ජාතියෙහි මට ම දරු වූ සුසීම නම් පසේබුදුන්ගේ ධාතු පිහිටුවා කළ දාගබ දැක ඔබකෙරෙහි කළ පුත්‍ර ප්‍රේමයෙන් හා අචල වූ ශ්‍රද්ධාවෙන් එ දා ඒ දාගබ් මළුවෙහි වටාපතක් සා තෙන තණ පරණලා දුරුකොට කළා වූ කුශලයෙන් මේ රජගහ නුවර පටන් ගෙන විශාලා මහනුවර දක්වා මේ අටයොදුන් මාර්ගයෙහි පුළුලෙන් සියක් රියන් පමණ තැන් වළගොඩ තැනී භේරිතලයක් සේ තැනුම් ලද. තව ද: එම දාගබ් මළුවෙහි එකුරුතුපටින් ගෙනවුත් වටාපතක් සා තැන තනාලූ වැලිසුගෙහි අනුසසින් මේ අටයොදුන් මාර්ගය සුදුවැල්ලෙන් සැදුම් ලද තව ද: එම දාගබ වටා එ දවස් ම පුදාලූ එක මල් මිටෙහි අනුසසින් ගංගාව ඇතුළු ව නව යොදුන් මාර්ගය පස්වනක් මලින් සැදුම් ලද. තව ද: එම මළුවෙහි කමද්ධලෙන් එදා ඉසලූ පැන් අතළොස්සෙහි පිනින් එ නුවර මා පය තබාලූ ඇසිල්ලෙහි තුන්සියයක් යොදුන් ලිච්ඡවීන්ගේ රාජ්‍යය මුළුල්ලෙහි ඒ සා මහත් පොකුරු වැස්සෙක් වැසපී ය. තව ද: එම දාගබෙහි නඟාලූ වියතක් පමණ පතාකයෙහි පිනින් හා පුදාලූ එක පත්කුඩයෙහි පිනින් නාලොව පටන් බඹලොව දක්වා අවකාශ නැති ව අතුරු නො දී උතුරුව උතුරුවා සිට ගත්තා වූ මේ සා මහත් වූ සේසත් පූජා ලදිමි. එසේ හෙයින් මහණෙනි! මේ පූජා ලදුයේ මාගේ බුද්ධානුභාවයෙකිනුත් නො වෙයි. දිව්‍ය බ්‍රහ්ම ගරුඬ ගන්‍ධර්වාදි දෙවියන්ගේ ආනුභාවයෙකිනුත් නො වෙයි. මා යට කළ කුශල මූලයෙන් ම ය යි වදාරා මේ ශඞ්ඛජාතකය නිමවා කෙළවර තව ද: භික්‍ෂූන්ට ම අවවාද සඳහා:

මත්තාසුඛපරිච්චාගා - පස්සෙ වෙ විපුලං සුඛං,

චජෙ මත්තා සුඛං ධීරො - සම්පස්සං විපුලං සුඛං යි.

යන මේ ගයින් බණ වදාළ සේක. එ කෙණෙහි ද බොහෝ භික්‍ෂූන් වහන්සේ සෝවාන් ආදි මාර්ගඵලයට පැමිණි සේක.

මෙසේ තමන් වහන්සේ එ කල විශාලා මහනුවරට වැඩ ගඞ්ගාරෝහණ පූජාවෙහි බිම්සර රජහු පළමු ව පූජා කළ දෙකක් උතුරු වූ පන්සියයක් පමණ සේසත් පූජා ය. දෙවනුව ලිච්ඡවි රජුන් කළ සතරක් උතුරු වූ දහසක් පමණ සේසත් පූජා ය. තුන්වනු ව ඔවුන් ම කළ අටක් උතුරු වූ දෙදහසක් පමණ සේසත් පූජා ය. සතරවනු ව බිම්සර රජහු කළ සොළොසක් උතුරු වූ සාරදහසක් පමණ සේසත් පූජා ය යි මේ සත්දහස් පන්සියතිසක් පමණ ඇති සේසත් පූජා ම ලත් හෙයිනුත්, නයින් දෙවියන් බඹුන් පිදූ අප්‍රමාණ සේසත් පූජා ලත් හෙයිනුත්, මෙසේ උදාර වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මෙසේ මුළුලොවට අද්භූත වූ, මෙසේ මුළුලොවට ආශ්චර්‍ය්‍ය වූ, මෙසේ මුළුලොවට විස්මය වූ, මෙසේ මුළු ලොවට සාධාරණ වූ, මෙසේ මුළුලොවට ශෝභාසම්පන්න වූ, මෙසේ මුළුලොවට කරුණාසම්පන්න වූ, මෙසේ මුළුලොවට ප්‍රේමණීය වූ, මෙසේ මුළුලොවට කර්ණරසායන වූ, මෙසේ මුළුලවෙට නේත්‍රාඤ්ජන වූ, මෙසේ මුළුලොවට අමෘතෞෂධ වූ, මෙසේ භාග්‍යවත් වූ, මෙසේ පූජාර්භ වූ, මාගේ ස්වාමිදරු වූ, බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං යි.

මේ පූජාවලියෙහි අප බුදුන් විශාලා මහ නුවර දී ලිච්ඡවී ආදීන්ගෙන් ලද

ගංගාරෝහණ පූජා කථා නම් වූ එක් විසිවන පරිච්ඡේදය නිමි.

22. දිව්‍යරාජ පූජා කථා

තව ද: අප බුදුන් තව්තිසා භවනයෙහි දී සක්දෙව් රජහුගෙන් ලද පාණ්ඩුකම්බලාසන පූජාකථා නම් කවරහ? යත්;

පෝ දවස්හි දිව්‍ය සභාවට දෙවියන් රැස්වීමෙහි විභාග

එහි විභාග කථාව සාවධාන ව කන් නමා මෙසේ අසා දතයුතු. පොළොව පටන් දෙසාළිස් දහසක් යොදනින් මත්තෙහි යුගන්‍ධර පර්වතය හා සම වූ ආකාශයෙහි චාතුර්මහාරාජික නම් දිව්‍ය ලෝකය සක්වළගල වසා අතුරු නැති ව සිටියේ ය. එහි සත් රුවන්මය වූ දිව්‍යප්‍රාසාද පමණ නැති යේ ය. වරම් රජදරුවන් සතර දෙනාගේ රුවන්මය වූ දෙව්නුවර සතර යුඟදුරු මුදුනෙහි සතර දිශාවෙහි පිහිටියේ ය.

ඒ දෙව්ලොව පටන් දෙසාළිස් දහසක් යොදනින් මත්තෙහි මෙරමුදුන හා සම වූ ආකාශයෙහි තවුතිසා භවනය සක්වළගල දක්වා පිහිටියේ ය. ඒ මෙරමුදුන ඉන්‍ද්‍රනීල මාණික්‍යමය ය. එහි පිහිටි පිටිනුවර හැර මැද පිහිටි ශක්‍රපුරය නැගෙනහිරි රුවන් වාසය පටන් බස්නාහිර රුවන් වාසලට දසදහසක් යොදුන. දකුණු දිග රුවන් වාසල පටන් උතුරු දිග රුවන් වාසලයට දස දහසක් යොදුන. එ නුවර සිසාරා දෙසියපනසක් සත්රුවන්මය වූ මහ පවුරු පිහිටියේ ය. එකි එකී දිශාවෙහි දෙසියපනස් දෙසීය පනස් වාසල් බැගින් රුවන් වාසල් දහසක් හා දොරටු පිහිටියේ ය. රත්නමය වූ ප්‍රාසාද පංක්තීන් හා, රිදීමය වූ ප්‍රාසාද පංක්තීන් හා, සත්රුවන්මය වූ ප්‍රාසාද පංක්තීන් හා, විසිතුරු වූ දිව්‍යොද්‍යාන පංක්තීන් හා, අලඞ්කෘත වූ දිව්‍ය තටාක පංක්තීන් හා ශෝභාවත් විය.

තව ද: එම නුවරට පිටත පූර්වදිග් භාගයෙහි සත්රුවන්මය වූ පවුරු හා රිදී දොරටුයෙන් පරික්‍ෂිප්ත වූ දහසක් යොදුන් පමණ තෙන නන්‍දෙනාද්‍යානය පිහිටියේ ය. ඒ උයන හා නුවර දෙඅතුරෙහි පනස් පනස් යොදුන් නන්‍දා නම් චුල්ලනන්‍දා නම් පොකුණු දෙක පිහිටියේ ය. ඒ දෙ විල්තෙර කෙහෙල් ගොබ් සෙයින් සියුම් වූ පහස් ඇති පනස් පනස් යොදුන් නන්‍දා නම් චුල්ලනන්‍දා නම් රුවන් අතළ දෙක පිහිටියේ ය.

එ නුවරට දක්‍ෂිණ දිග් භාගයෙහි එසේ ම සත් රුවන්මය වූ පවුරු හා දොරටුයෙන් පරික්‍ෂිත වූ තුන්සියක් යොදුන් චිත්‍රලතා නම් උයන පිහිටියේ ය. ඒ උයන හා නුවර දෙ අතුරෙහි පනස් පනස් යොදුන් චිත්‍රා නම් චුල්ලචිත්‍රා නම් පොකුණු දෙක පිහිටියේ ය. ඒ පොකුණු දෙ තෙර ද පනස් පනස් යොදුන් චිත්‍රා නම් චුල්ලචිත්‍රා නම් දෙරුවන් අතළෙක් පිහිටියේ ය.

තව ද: එ නුවරට පශ්චිම දිග් භාගයෙහි එසේ ම සත්රුවන්මය වූ, පවුරුවාසලින් පරික්‍ෂිප්ත වූ, පන්සියක් යොදුන් ඵාරුසක නම් උයන පිහිටියේ ය. ඒ උයන හා නුවර දෙ අතුරෙහි පනස් පනස් යොදුන් භද්‍රා නම් චුල්ලභද්‍රා නම් පොකුණු දෙක පිහිටියේ ය. ඒ පොකුණු දෙ තෙර ද පනස් පනස් යොදුන් භද්‍රා නම් චුල්ල භද්‍රා නම් දෙරුවන් අතළ පිහිටියේ ය.

තව ද: පැළදෙසෙහි එසෙයින් ම රුවන්මය වූ පවුරු හා වාසලින් ම පරික්‍ෂිප්ත වූ පන්සියයක් යොදුන් චිත්‍රලතා නම් උයනෙක් ඇත. ඒ උයන හා නුවර දෙඅතුරෙහි පනස් පනස් යොදුන් චිත්‍රා නම් චුල්ලචිත්‍රා නම් පොකුණුදෙක පිහිටියේ ය. ඒ පොකුණු දෙ තෙර ද පනස් පනස් යොදුන් චිත්‍රා නම් චුල්ලචිත්‍රා නම් දෙරුවන් අතළ පිහිටියේ ය.

තව ද: මෙනුවරට උතුරු දිග්භාගයෙහි සත්රුවන්මය වූ පවුරු හා දොරටුයෙන් පරික්‍ෂිප්ත වූ පන්සියයක් යොදුන් මිශ්‍රවන නම් උයන පිහිටියේ ය. ඒ උයන හා නුවර දෙ අතුරෙහි පනස් පනස් යොදුන් ධර්මා නම් චුල්ල ධර්මා නම් පොකුණු දෙක පිහිටියේ ය. ඒ පොකුණු දෙ තෙර ද පනස් පනස් යොදුන් ධර්මා නම් චුල්ලධර්මා නම් දෙරුවන් අතළ පිහිටියේ ය.

තව ද: එම ශක්‍රපුරයට ම ඊශානදිග් භාගයෙහි සත්රුවන්මය වූ පවුරුවාසලින් පරික්‍ෂිප්ත වූ, සත්දවසක් යොදුන් මහාවන නම් උයනෙක් ඇත. ඒ උයන හා නන්‍දා නම් උයන දෙ අතුරෙහි සත්රුවන්මය වූ දහසක් කුළුගෙවලින් හෙබියා වූ සියක් යොදුන් පමණ නන්‍දා නම් පොකුණෙක් ඇත. එ නුවර මධ්‍යයෙහි තුන් සියයක් යොදුන් උස වීජයත් නම් ප්‍රාසාදයෙක් ඇත. ඔහු අසුර විජය කළ වේලෙහි පැන නැගි හෙයින් ඒ පාය වෛජයන්ත ය යි නම් ලද. එහි බිම ඉන්‍ද්‍රනීලමාණික්‍යමය ය. ටැම් ඝන රන්මය ය. කොතුරුපේකඩ රිදීමය ය. ව්‍යාඝ්‍රපඞ්ක්ති ප්‍රවාලමය ය. ගොත්වත් ගොණැස් සත්රුවන්මය ය. පළසෙවෙනි රන්මය ය. එහි සියයක් පමණ මහල් ඇත. එකි එකී මහලෙහි සත් සියයක් සත්සියයක් බැගින් සැත්තෑදහසක් රුවන් ගබඩා ඇත. එකි එකී ගබඩාවෙහි සත් සත් දිව්‍යාඞ්ගනාවන් බැගින් සාරලක්‍ෂ අනූදහසක් ඕහට වල්ලභ වූ දෙවඟනෝ වෙසෙති. එකි එකී දිව්‍යාඞ්ගනාව මල් සුවඳ පළඳවා සරහන සසත් සත් පරිවාර ස්ත්‍රීන් බැගින් සූතිස්ලක්‍ෂ තිස්දහසක් පරිවාර දිව්‍යාඞ්ගනාවෝ වෙසෙති. මෙසේ ඒ එක වෛජයන්ත නම් මහ පායෙහි ම එකුන් සතළිස්ලක්‍ෂ විසි දහසක් පමණ ඕහට වල්ලභ වූ දේවතා දූ වෙසෙති.

මෙසේ වූ ප්‍රාසාදයක් හා ඓශ්චර්‍ය්‍යයක් ඒ සක්දෙව්රජ පෙර තමා මිනිස්ලොව වසන කල මගීන් සතප්නා අම්බලම් ශාලාවක් කරවාලු පිනින් ලද එසේ හෙයින් නුවණැත්තා වූ සත්පුරුෂයන් විසින් සිත පහදවා කළ මනා කුශලයකුත් නො මඳ වූ සැපතක් දෙන්නේ ය යි දතයුතු.

තව ද: ඒ පායෙහි නැගෙනහිරි භාගයෙහි ඇතුලුනුවර ඒක පුණ්ඩරීක නම් උයනෙකුදු වී ය. ඒ උයනමැද: කඳබොල පස් යොදුන්, කඳවට පසළොස් යොදුන්, කඳඋස පනස් යොදුන් පමණ ඇති, පනස් පනස් යොදුන් පමණ ශාඛා පසක් ඇති, සියක් යොදුන් පමණ උස ඇති, පාරිච්ඡත්තක නම් හෙළ කොබෝළීල ගසෙක් වි ය. ඒ ගස දක්‍ෂිණ ශාඛාග්‍රයෙහි පටන් උත්තර ශාඛාග්‍රයට සියක් යොදුන. පශ්චිම ශාඛාග්‍රයෙහි පටන් පූර්ව ශාඛාග්‍රයට සියක් යොදුන. ශාඛා මණ්ඩලයෙහි වට තුන්සියක් යොදුන. එහි මල් තුන්ගවු උස දේවතාවෝ සේසත් සේ ඉසට කොට ගන්‍ධමාදනාදියෙහි ක්‍රීඩාකොට ඇවිදුනාහු ය. මෙසේ ඒ මල්සුවඳ අවට සියක් යොදුන් පැතිරෙයි. සඳරස් කලබක් සේ ඒ ගසින් දිවු ප්‍රභාවෙන් පනස් යොදුන් තැන අලු කෙරෙයි.

මෙසේ වූ තමා සතප්නාසෙවනක් පෙර තමා මිනිස් ලොවදී මගීන් සැතපෙන්ට කොබෝළීල ගසක් රෝපණය කළා වූ පිනින් ලද.

තව ද: ඒ රුකමුල දිග සැටයොදුන්, පුළුල පනස් යොදුන්, උස පසළොස් යොදුන්, ඔහු උන් කල පුලුන්තිල්ලක් සේ නාභිය දක්වා ගැලීයන පැනනැගි කල භේරිතලයක් සේ තැනීයන ඔහු හුණු කැමැති කල හුණු පවත්නා වූ සිහිල් කැමැති කල සිහිල් පවත්නා වූ, බඳුවද මල්පෙත්තකට බඳු වූ පැහැ ඇති, ඉතා සුරක්ත වූ, පාණ්ඩුකම්බල නම් ශෛලාසනයකුදු ඇත. මේ සක් දෙවුරජහු පෙර තමා මිනිස්ලොව වසන කල යන එන මගීන් සැතපී හිඳිනා වූ ගල් පොත්තක් කළා වූ පිනින් ලද.

තව ද: ඒ විජයොත් නම් මහපායට උතුරු දිග සුධර්මා නම් දිව්‍යසභාවකු දු ඇත; එහි බිම ඉන්‍ද්‍රනීල මාණික්‍යමය ය. භිත්ති දෑවානමය ය. ටැම් ඝනරන්මය ය. කොතුරු පේකඩ දෑවානමය ය. ව්‍යාඝ්‍රවළලු ප්‍රවාමය ය. හොත්වත් ගොණැස් සත්රුවන්මය ය. බඩපළ ඉන්‍ද්‍රනීල මාණික්‍යමය ය. පිටපළ ඝනරන්මය ය. කොත් රිදීමය ය. ඒ සභාව අයමින් විතරින් තුන්සියයක් යොදුන. වට නවසියයක් යොදුන. උස් පන්සියයක් යොදුන. මුදුනෙහි නගන ලද සත්රුවන් ධජපෙළින් හොබනේ ය. එහි ධජකකුල්වල මැවී තිබෙන රන්රසු නාදයෙන් පඤ්චාඞ්ගික තූර්‍ය්‍ය සේ මධුරනාද පැවැත දෙවියන්ගේ සිත් උමතු කෙරෙයි. සදෙව් ලෙව ම ඒ සභාවට වඩනා දෙවියන් සිත් අලවන කෙනෙක් නැත. ඒ සභාව මිනිස් ලොව දී අනුන් කරවන අම්බලම් ගෙයකට රියනක් පමණ දඬුකඩක් ලාලූ සුධර්මා නම් ස්ත්‍රියගේ පිනින් උපන්නී ය.

ඒ සභාවෙහි දී ධර්මදේශනාත් වෙයි. අධිකරණ විනිශ්චය ද දෙවියන්ගේ ඒ සභාවෙහි දී ම වෙයි. දෙවියෝ සභාවට බණ අසන දා රැස්වෙති. පරසතු කෙළියට රැස්වෙති. අධිකරණයක් ඇති දා රැස්වෙති. බුද්ධෝත්පාද කාලයෙහි සඞ්ඝයා වහන්සේ වස් වසන්නා වූ ඇසළ මස මැදි පොහෝ දා රැස්වෙති. වස් පවුරුණු දා රැස් වෙති. හේ කෙසේ ද? යත්;

තවුතිසා වැසි දෙවියෝ අවුරුද්දක් මුළුල්ලෙහි “පරසතු ගස කවර දා මල් පිපේ දෝ හෝ”යි ගොස් බලන්නාහු එහි පත් පඬුවන් වූ කල “නො බෝ කලෙකින් පත් වැගිර මල් ගන්ති”යි සතුටුව සැණකෙළියක් කෙළිති. පත් වගුළ කළ “නොබෝ කලෙකින් ලිය අට ගන්නි”යි සතුටුව සැණකෙළියක් කෙළිති. ලිය අටගත් කල “මඳ දවසෙකින් පත් ගන්නි”යි සතුටුව සැණකෙළියක් කෙළිති. පත් දුටු කළ “මඳ දවසෙකින් මල් කැකුලු ගන්නි”යි සතුටු ව සැණකෙළියක් කෙළිති. මල් කැකුලු දුටු කල “මඳ දවසෙකින් මිණි දැදිරි ව මල් මෝරයි” කියා සතුටු ව සැණකෙළියක් කෙළිති. මිණි දැදිරි වූ කල “මඳ දවසෙකින් මල් පිපෙයි” කියා සතුටු ව සැණකෙළියක් කෙළිති. මල් පිපි කල “මල් පිපිනැ යි” කියා සතුටු ව සැණකෙළියක් කෙළිති.

එ ගස මල් යමකු විසින් නැගී කැටුව මැනැවැ යි නැත එක සුළඟෙක් එහි පිපි මල් නටුයෙන් ගළවා පිය යි. එක් පවනෙක් කැඩූ මල් රඳවා ආකාශයෙහි සිටී. එක් සුළඟෙක් ඒ මල් සුධර්මා නම් දිව්‍යසභාවට කඳුබැඳ ගෙන යෙයි. එක් සුළඟෙක් එහිපරමල් ඇමැඳ යෙයි. එක් සුළඟෙක් නවහම් මලස්නක් සේ හැම මල් අතුට යෙයි. මධ්‍යයෙහි සතර ගව්වක් උස මලින් ධර්මාසනයෙක් වෙයි. ඒ මුදුනෙහි තුන් යොදුන් උස සේසතෙක් තිබෙයි. ඒ ආසනය ගාවා ශක්‍රදේවේන්‍ද්‍රයාට තුන්ගව්වක් උස ආසනයෙක් මැවෙයි. ඕහට ඉක්බිති ව ප්‍රජාපති-වරුණ-ඊසාන ය යි යන ශක්‍රයා හා සම වූ ආනුභාව ඇති දිව්‍යපුත්‍රයන් තුන්දෙනාට දෙදෙගවු පමණ ආසන වෙයි. එයින් ඉක්බිති ව දෙතිස් මහා දිව්‍යපුත්‍රයන්ට ගවු ගවු පමණ ආසන දෙතිසක් වෙයි. ඉක්බිති ව සෙසු මහේශාක්‍ය දෙවියන්ට අඩ අඩ ගවු ආදීන් තරම් තරම් ලෙස ආසන වෙයි. සෙසු දෙවියන්ට මල්කෙමි ම ආසන වෙයි. එ කල දෙවියෝ හැම දෙන ම සභාවට රැස් ව ධර්මාසනය හැර සෙසු තමන් තමන්ගේ මල් ආසනවල ඉඳිති. ඒ මලෙහි රොන් සළා පන්සියක් යොදුන් නැගී කැණිමඬලෙහි ගැසී නැවත බැස දෙවියන්ගේ රන්කඳයෙන් තුන්ගවු පමණ ශරීර ලාක්‍ෂාරසයෙන් ඉස්නා සේ තවරා සිට ගත්ති. මේ පරසතු මල් ක්‍රීඩාව සාරමසෙකින් නිම යි. පරසතු මල් කෙළියට ඒ සභාවට දෙවියන් රැස්වීමෙහි විභාග මෙසේ දතයුතු.

බණ කියන දවස් සමහර දවසෙක සෘද්ධිමත් රහත් මහ තෙර කෙනකුන් වහන්සේ හෝ ඒ ධර්මාසනයෙහි වැඩහිඳ බණ වදාරණ සේක. සමහර කලෙක කාළදේවලාදීන් සේ සෘද්ධිමත් තාපස කෙනෙක් හෝ දිව්‍යපුත්‍ර කෙනෙක් හෝ බණ කියති. සමහර කලෙක මිනිස්ලොවින් ගොස් උපන් ධර්මකථික දිව්‍යපුත්‍ර කෙනෙක් හෝ විශාරද ව බණ කියති. සමහර කලෙක සක්දෙව් රජ තෙමේ ම හෝ බණ කියති. සමහර කලෙක සනත් කුමාර නම් බ්‍රහ්මරාජයාණෝ හෝ අවුදින් තමන්ගේ දොළොස් යොදුන් බ්‍රහ්මාත්මභාවය අන්තර්ධාන කොට පඤ්චශිඛ දිව්‍යපුත්‍රයාගේ වෙසින් ඒ ධර්මාසනයෙහි හිඳ බණ කියන්නාහු ය. ඒ පඤ්චශිඛයා ගේ වෙසින් බණ කියන්නට කාරණ කිම? යත්;

ඒ තෙමේ ගිය දවස මිනිස්ලොව පස්කුඩුම්බියක් ඇති ව එහි පස්කොණ්ඩයක් බැඳ බාලකල ගොපල්ලන්ට නායක ව කෙළ ඇවිදිනේ සෙසු කොල්ලන් එක්කොට ගෙන තුන් මං සතර මං සන්‍ධියෙහි මල්පැල් නඟා වළ ගොඩ තැන් තනා, හේ දඬු තනා, වැලි සෑ බැඳ නවහම් මල් තනා පුදා මෙසේ නොයෙක් පින්කම් කොට ප්‍රියබාල අවස්ථාවෙහි ම මිනිස්ලොවින් මිය අනූලක්‍ෂයකට හවුරුදු ආයු ඇති තරු පෙනෙන දිව්‍යලෝකයෙහි රන්කඳක් බඳු වූ තුන්ගව්වක් පමණ දිව්‍ය ශරීර ඇති ව සැටගැලක් පුරාලන ආභරණ පැළඳ යෙළ යාලක් සුවඳ විලෙවුන් ගෙන ගන්‍ධර්වයන් පිරිවරා උපන. ඒ තෙමේ තමා නළුවා හෙයින් විශේෂ වූ සැරහුම් දනිති. විශේෂ වූ භාව භාව දනිති. දෙවියන් ප්‍රියකරවන්නා වූ කතා දනිති. මිනිස්ලොව දී වූ වාසනාවෙන් පස්කොණ්ඩයක් බැඳ වෙන වෙන නොයෙක් පෑයෙන් සරහා පිළි කර හෙළා තුන්ගව්වක් දිග දිව්‍යමය වූ වීණාවක් ගෙන දිව්‍ය ගායනා කොට කොට දෙදෙව්ලොව ඇවිදිනේ ය. පෙර ප්‍රිය අවස්ථාවෙහි පින් කළ හෙයින් දැනුදු මෙ හැම දෙවියන්ට ම ඉතා ප්‍රිය ය. ඒ කාරණයෙන් බ්‍රහ්මරජ්ජුරුවෝ දෙවියන්ගේ චරිත දැන මේ පඤ්චශිඛ දිව්‍යපුත්‍රයාගේ වෙස් මවාගෙන ඒ ධර්මාසනයෙහි හිඳ බණ කියන්නාහු ය. ඒ සභාවෙහි දෙවියන්ගේ බණ ඇසීමෙහි විභාගය මෙසේ දතයුතු.

තව ද: මෙසේ සක්දෙව්රජහු ඒ සුධර්මා නම් දිව්‍යසභාවට වැද උන් වේලෙහි වරම් රජදරුවෝ තමන් තමන් දිශාවෙහි රැකවල් ගෙන සිටිනාහු ය. මෙසේ උන් කල අටවක් පෝයෙහි වරම් රජුන්ගේ ලියන්නෝ ද, තුදුස්වක් පෝයෙහි වරම් රජුන්ගේ දරුවෝ ද, පසළොස්වක් පෝයෙහි වරම් රජදරුවෝ තුමූ ම, මිනිස්ලොවට අවුදින් ඒ ඒ තැන් බලා “අද මෙතෙක් පුරුෂයෝ පේවූහ. අද මෙතෙක් ස්ත්‍රීහු පේ වූහ. මෙ තෙක් දෙන පන්සිල් එකිති. මෙතෙක් දෙන අටසිල් රකිති. මෙ තෙක් දෙන දසසිල් රකිති. මෙතෙක් දෙන සරණසිල් රකිති. මෙතෙක් දෙන පෙහෙවස් රකිති. මෙතෙක් දෙන මවුපියන්ට මෙහෙ කෙරෙති. මෙතෙක් දෙන කුලදෙටුවන් පුදති. මෙතෙක් දෙන මල් පහන් පුදති. මෙතෙක් දෙන බණ අසති. බණ අස්වති. මෙතෙක් දෙන දාගැබ් මහබෝ ප්‍රතිමාදියට පුදති. මෙතෙක් දෙන ත්‍රිවිධ වූ සුචරිතයන් පුරති. මෙතෙක් දෙන දසපින්කිරියවත් පුරති”යි යනාදීන් රන්පත්වල දෑහිඟුලෙන් ලියාගෙන ගොස් ලියන්නෝ වූ නම් ඔහුගේ දරුවන් අතට දෙති. දරුවෝ වෙසවුණු රජුන් අතට දෙති. වෙසවුණු රජ්ජුරුවෝ පඤ්චශිඛ දිව්‍යපුත්‍රයා අතට දෙති. පඤ්චශිඛ දිව්‍යපුත්‍රයා මාතලි දිව්‍යපුත්‍රයා අතට දෙයි. මාතලී සඞ්ගාහක සක් දෙව්රජ අතට දෙයි.

යම් කලෙක මිනිස්ලොව පින්කරන්නා වූ සත්ත්‍වයෝ මඳ වූ නම් ඒ පින්කිරියවත් ලියූ පොත කුඩා වෙයි. පින් කරන්නා වූ සත්ත්‍වයෝ බොහෝ වූ නම් ඒ පොත ලොකු වෙයි. පොත කුඩා වූ කල හැම දෙවියෝ ම පොත බලා “මිනිස්ලොව පින් කරන්නෝ මඳය. සතර අපාය පිරෙයි. අපගේ දෙව්ලෝ නො පිරෙ”යි කියා පශ්චාත්තාප වෙති. ඒ පොත මහත් වී නම් “මිනිස්ලොව සත්ත්‍වයෝ ඉතා අප්‍රමාද ව දවස් යවති. සතර අපාය අඩුවෙයි. අපගේ දෙව්ලෝ පිරෙයි. බුද්ධෝත්පාදයෙහි පින්කොට උපන්නාවූ මහේශාක්‍ය දෙවියන් බල බලා සැණකෙළි කෙළුම්හ”යි කිය කියා ඉතා සන්තුෂ්ට වෙති. එ වේලෙහි සක්දෙව්රජ ඒ පොත අතට ගෙන යොදනක් උස මලස්නකට පැනනැගිලා කියවයි. එ වේලෙහි ඔහු සෙමෙන් කියවන කල සොළොස් යොදනෙක සිට දෙවියන්ට ඇසෙයි. මහත් කොට කියන කල දසදහසක් යොදුන් ශක්‍රභවනයෙහි දෙවියන්ට ද ඇසෙයි. පෝ දවස් දිව්‍ය සභාවට දෙවියන් රැස්වීමෙහි විභාග මෙසේ දත යුතු.

තව ද: කප්රුක් නිසා, දිව්‍යාඞ්ගනාවන් නිසා, දෙවියන්ගේ විවාද බෙහෙව. ඒ විවාදයෙන් උපන් අධිකරණ සක්දෙව් රජහු කරා පැමිණෙයි. සක්දෙව් රජ මෙම සුධර්මා නම් දිව්‍යසභාවෙහි දී දෙදෙව්ලොව දෙවියන් මධ්‍යයෙහි ඒ අධිකරණ සන්හිඳුවා දෙයි. දේවතාවන්ගේ දරුවෝ ඕපපාතික ව උන් උන්ගේ ඇකයෙහි පෙනී යෙති. එ කල ඔවුන්ට අප දරුවෝ ය යි ප්‍රේම කෙරෙති. ස්ත්‍රී ඔවුන්ගේ දිව්‍ය යහන් මතුයෙහි මැවීයෙති. ඔහු භාර්‍ය්‍යා නම් වෙති. උන් උන් මල් පළඳවා ආභරණ පළඳවා සරහන්නා වූ දෙවියෝ යහන වටා පෙනී යෙති. පරිවාර දෙවියෝ ඇතුළු විමානයෙහි පෙනී යෙති. මෙසේ උපන්නා වූ අඹුදරු පරිවාර දෙවියන් නිසා කරන වාද නැත. යම් යම් කෙනෙක් දෙවියන්ගේ සීමාන්තරයෙහි ඉපැද ගියෝ නම් “මට හිමි ය. මට හිමියැ”යි යනාදීන් ඔවුනොවුන් හා යුද්ධ කෙරෙති. එ කල ඔහු සක් දෙව්රජහු කරා ගෙන ගොස් “මේ අපගේ විවාදය පසිඳ දෙව”යි කියති. එ කල ශක්‍රයෝ පරීක්‍ෂා කොට යමකුගේ සීමාවට භාර වී නම් ඕහට හිමියැ යි හරවා දෙති. ඉදින් සීමාව මධ්‍යයෙහි ඉපැද යමකුගේ විමානයට මුහුණ ලා සිටියෝතින් ඔහු හිමියැ යි පාවා දෙති. ඉදින් කාගේ විමානයකුත් නො බලා සිටියෝතින් වාද පසිඳිනා නිසා “මා සතු යැ”යි ශක්‍රයා තමාට හැරගන්නි, හේ මෙසේ යි.

අප බුදුන් සමයෙහි කිඹුල්වත රෝහිණී නම් රාජකන්‍යාවක් ඝනරන් දහසක් අගනා භෝජන ශාලාවක් කරවා, බුදුන් ආදි වූ මහ සඟනට දන් දි, එ තැන් පටන් රජදූමි යි නො සිතා තමා ස්වහස්තයෙන් ඒ ශාලාව පිරිබඩ ගන්නී ස්වහස්තයෙන් පැන් පෙරා හිඳිනා අසුන් පනවා තමා සියඅතින් භික්‍ෂූන් වළඳවා පින් කොට තමන් ආයු කෙළවර මිය ශක්‍රපුරයෙහි දෙවියන් සතරදෙනෙකුගේ සීමාන්තරයෙහි දෙව්ලොව බබුළුවා තුන්ගවු පමණ දිව්‍ය ශරීරයෙකින් දොළොස් යොදුන් දිවසළුවක් හැඳ දොළොස් යොදුන් සළුවක් එකාංශ කොට ලා සියළඟින් නිකුත් රසින් දෙව්ලොව බබුළුවා පෙනී ගියා ය.

එ කල ඒ දෙවියෝ සතරදෙන “මට හිමි ය, මට හිමි යැ”යි දිව්‍යාඞ්ගනාව කෙරේ කළ ලෝභයෙන් ඔවුනොවුන් හා යුද්ධකොට ඈ කැඳවාගෙන සක්දෙව්රජහු කරා ඒ සුධර්මා නම් දිව්‍යසභාවට ගොස් “අපගේ මේ අධිකරණ ය පසිඳදෙව”යි කීහ. එ කල සක් දෙව්රජ බුද්ධෝත්පාද කාලයෙහි පින්කළ බෙලෙන් රූපශ්‍රීන් දිලියෙන්නා වූ ඒ රෝහිණී නම් දිව්‍යාඞ්ගනාව දැක තමාගේ අඩුතුන් කෙළක් පමණ දෙවඟනන් ඇතත් ඈ කෙරෙහි අධික වූ ලෝභ කොට “මෑ මට ම ඇරගනිමි”යි සිතාලා දිව්‍යපුත්‍රයන් සතරදෙනා ළඟට කැඳවා “මෑ දුටු වේලෙහි පටන් තොප තොපට කුමක් සිතේ දැ”යි විචාළේ ය. එකෙක් කියනුයේ “මෑ දුටු වේලෙහි පටන් ආකාශ ගඞ්ගාවක් නො පැකිළ දිවන්නා සේ මාගේ ප්‍රේම නමැති ගඞ්ගාව මෑගේ රූප නමැති නියග්ගලෙහි ධාරා නිපාත වෙමින් සිටියේ ම යැ”යි කීය. එකෙක් කියනුයේ “මෑ දුටු වේලෙහි පටන් මෑ නො ලැබෙම් දෝ හෝ යි යන ශෝකයෙන් මාගේ ලය පට පටයා ගැසෙන පරිදි සටන් බෙරක් ගසන්නා වැන්නැ”යි කී ය. එකෙක් කියනුයේ “මෑ දුටු වේලෙහි පටන් මෑගේ කේශාන්තය පටන් පාදාන්තය දක්වා මෑගේ රූපශ්‍රීය බලා මාගේ ඇස් හයා ගතත් නොහෙමි. ඇසිපිය සොල්වා ගතත් නොහෙමි. එසේ හෙයින් ඇස්දෙක කකුළුවකුගේ ඇස් සේ මෑ කරා ම නෙරී ගියේයැ”යි කීය. එකෙක් කියනුයේ “මෑ දුටු වේලෙහි පටන් මෑ නො ලැබෙම් දෝ හෝයි යන ශෝකයෙන් මාගේ ලය පට පටගා ගැසෙන පරිදිත් මාගේ සිත සෝ දුකින් වැනි වැනී තිබෙන පරිදිත් දාගබ් කැරැල්ලක් අග බැඳි පතාකයක් හැම වේලෙහි ම සුළං පහරින් පට පටගා ගැසි ගැසී ඔබ මොබ වැනි වැනී සැලෙන්නා වැන්නැ”යි කී ය.

ඉක්බිත්තෙන් සක්දෙව්රජ ඔවුන් සතරදෙනා කී මේ උපමා කථා අසා කියනුයේ “පින්වත්නි! මෑ නො ලදූ නම් තෙපි සතර දෙන මිය යා ද, නො මියා දැ”යි විචාළේ ය. ඔහු සතර දෙන ම නො මියම්හ යි කීහ. සක්දෙව්රජ කියනුයේ “පින්වත්නි! මේ දේවතා දුව දැන් ඉදින් මම නොලදිම් නම් මට මාගේ ශක්‍රසම්පත්තියෙනුත් කම් නැත. වෛජයන්ත නම් ප්‍රාසාදයෙනුත් කම් නැත. පාණ්ඩුකම්බලශෛලාසනාදියෙනුත් කම් නැත. දෙකෙළපනස් ලක්‍ෂයක් පමණ ඇති මාගේ දිව්‍යාඞ්ගනාවන්ගෙනුත් කම් නැත. දැන් ම මියන්නෙම් වේ දැ”යි කී ය.

එ බසට දේවතාවෝ සතරදෙනම ඔවුනොවුන් මුහුණ බලා සිනාසී “අපි ත් තොපගේ මය. මේ දෙව්ලොවත් තොපගේ ම ය. එහි උපන් කෙනකුත් තොපගේ ම ය. එක දෙව්දුවක් නිසා තොප වැනි දිව්‍යරාජයකු මළෝතින් අපට ම අලාභ ය. සියලු දෙවියන්ගේ කාර්‍ය්‍යාකාර්‍ය්‍යෙයහි අප්‍රමාද ව තොප වැනි දිව්‍ය රාජයක්හු ලැබගත නො හැක්කේ ම ය. ස්වාමීනි! නො කියව, තොප හිමි සැපත තෙපි ම ගනුව, අප සතරදෙනාගෙන් ම තොපට සරණ දෙම්හ”යි ඕහට ම පාවාදී ගියහ. ඒ තැන් පටන් සක්දෙව්රජ ඒ රෝහිණී නම් දිව්‍යාඞ්ගනාව අගමෙහෙසුන් කොට ප්‍රියවාසයෙන් විසී ය. ඒ දිව්‍යසභාවෙහි දී කරණ අධිකරණ කථාවෙහි විභාග මේ ආදීන් දතයුතු.

වස් වසන පවරණ දා දෙවියෝ ඒ දිව්‍යසභාවට රැස් ව “අද කොයි ගොසින් බණ බණ අසමෝදැ”යි ඔවුනොවුන් හා කථා කෙරෙති, එයින් සක්දෙව්රජ බොහෝ සේ ම පුවඟු දිවයිනේ හෝ ලක්දිව් හෝ අවුදින් පවරා පුදා මහබෝ වැඳ යෙයි. සෙසු දෙවියෝ පරසතුමල් දිවගන්‍ධාදීන් ගෙන තමන් තමන් අභිප්‍රාය තැනට ගොස් පවරා වැඳපුදා යෙති. අබුද්ධෝත්පාදයෙහි එම සභාවෙහි දී ම පවරති. වස් වසන පවරණ දා ඒ සභාවට දෙවියන් රැස්වීමෙහි විභාග මේ ආදීන් දතයුතු.

තව ද: ඒ සක්දෙව්රජහු සියලු දෙවියන් රැස්කරන වේලෙහි තමාගේ එක්සිය විසි රියන් දිග විජයත් නම් සක තුඩ තබා එක් යලක් පිඹි කල ඒ නාදය දස දහසක් යොදුන් ශක්‍රභවනයෙහි පැතිර සාරමස් දෙපෝයක් සිඳෙයි. මෙසේ විසිතුරු වූ තවුතිසා දිව්‍යලෝකයෙහි රජ කරණ ඒ සක්දෙව්රජ උද්‍යානාදි ක්‍රීඩාවට විජයත් නම් තමාගේ මහපායෙන් සෙලවී ගිය වේලෙහි දෙදෙව් ලොව දෙවියෝ සක්වළගල් පර්‍ය්‍යන්ත ව හැම දෙන හැළල යති.

එ කල ධ්‍රැතරාෂ්ට්‍ර නම් වරම්රජ තමාගේ මහ සෙනඟ ගෙන ශ්වේතවස්ත්‍රාභරණ පැළඳ දෑවානමය කඩුපළඟ ගෙන කෙළලක්‍ෂයක් හැළි අසුන් නැංගා වූ කෙළ ලක්‍ෂයක් පමණ තමාගේ ගන්‍ධර්ව භටයන් පිරිවරා තෙමේ ද ශ්වේත වස්ත්‍රාභරණයෙන් සැරසී දෑවානමය වූ කඩුව හා පලගයක් ගෙන ශ්වේත අශ්වරාජයකු පැන නැගී කෙළලක්‍ෂයක් පමණ රිදී වැට පහනින් දිලිහි දිලිහී පූර්ව සක්වළ මුවවිටියෙහි පිටත බලා සක්දෙව් රජහට අරක් ගෙන සිටගන්ති.

තව ද: විරූළ්හක නම් වරම් රජතුමාගේ මහසෙනග ගෙන නීලවස්ත්‍රාභරණ පැළඳ ඉන්‍ද්‍රනීලමය වූ කඬුපළඟ ගෙන කෙළ ලක්‍ෂයක් නිල අශ්වයන්ට පැන නැඟී කෙළ ලක්‍ෂයක් කුම්භාණ්ඩ භටයන් පිරිවරා තෙමේ ද ඉන්‍ද්‍රනීල වස්ත්‍රාභරණයෙන් සැරසී ඉන්‍ද්‍රනීලමය වූ කඩුවක් හා පලඟයක් ගෙන නීලවර්ණ දිව්‍ය අශ්වරාජයකු පැන නැඟී කෙළලක්‍ෂයක් මිණිදඬුවැට පහනින් දිලිහි දිලිහී දකුණු සක්වළ මුවවිටියෙහි සක්දෙව් රජහට අරක් ගෙන පිටත බලා සිටගන්ති.

තව ද: විරූපාක්‍ෂ නම් වරම් රජ තමාගේ මහසෙනඟ ගෙන ප්‍රවාලමය වූ වස්ත්‍රාභරණ පැළඳ ප්‍රවාලමය වූ කඩුපළඟ ගෙන කෙළලක්‍ෂයක් පමණ සුරක්ත වු අශ්වරාජයන්ට පැන නැඟී, කෙළ ලක්‍ෂයක් නාගභටයන් පිරිවරා තෙමේ ද ප්‍රවාලමය වූ දිව්‍යවස්ත්‍රාභරණයෙන් සැරසී ප්‍රවාලමය වූ කඩුවක් හා පලඟයක් ගෙන ප්‍රවාලපත්‍රයක් වැනි වූ දිව්‍ය අශ්වරාජයක්හු පැන නැඟ, කෙළලක්‍ෂයක් පමණ පබළු වැටපහනින් දිලිහි දිලිහී පැළගක්වළ මුවවිටියෙහි සක්දෙව් රජහට ම අරක් ගෙන සිටගන්ති.

තව ද: වෙසවුණු මහරජ ද තමාගේ මහසෙනග ගෙන රන්වන් වස්ත්‍රාභරණයෙන් සැරහී, රන්වන් කඩුපලගගෙන කෙළ ලක්‍ෂයක් පමණ රන්වන් වූ අශ්වරාජයන්ට පැන නැඟි, කෙළලක්‍ෂයක් පමණ යක්‍ෂ සේනාව පිරිවරා තෙමේ ද කනකමය වස්ත්‍රාභරණයෙන් සැරහී, කනකමය වූ කඩුවක් හා පලඟක් ගෙන කනක වර්ණ දිව්‍ය අශ්වරාජයක්හු පැන නැගි, කෙළලක්‍ෂයක් පමණ රන් වැටපහනින් දිලිහි දිලිහා උතුරු සක්වළ මුවවිටියෙහි පිටත බලා සක්දෙව් රජහට ම අරක් ගෙන සිට ගන්ති.

තව ද: සුධර්ම නම් ගාන්‍ධර්ව දිව්‍යපුත්‍රයෙක් තුන්ගවු දිග සර්වාභරණ නන්‍දන නම් මහ බෙරයක් කර ලාගෙන, අටසැට දහසක් භෙරීන් සමග ලක්‍ෂගණන් නළුවන් පිරිවරා පැදුම් සක්වළ මුදුනෙහි පනස් යොදුන් තෙන රඟ මඬුලු බැඳ සිටගන්ති. තව ද: තිම්බරු නම් ගාන්‍ධර්ව දිව්‍යපුත්‍රයෙක් තුන් ගව්වක් පමණ දිග පමුඛ නම් මහබෙරක් ගෙන, අටසැටදහසක් භෙරීන් හා සමග ලක්‍ෂගණන් නළුවන් පිරිවරා පනස් යොදුන් තැන රඟමඬුලු බැඳ දකුණුසක්වළ මුවවිටියෙහි සිට ගන්ති. තව ද: දික්පමුඛ නම් ගන්‍ධර්ව දිව්‍යපුත්‍රයෙක් තුන්ගවු දිග මහාභාණ්ඩ නම් මහ බෙරයක් කර ලා අටසැට දහසක් දිව්‍යභෙරීන් හා ලක්‍ෂගණන් නළුවන් පිරිවරා පනස්යොදුන් තැන මහ රඟමඬුලු බැඳ බස්නාහිර සක්වළ මුවවිටියෙහි සිට ගන්ති. තව ද: පඤ්චශිඛ නම් දිව්‍යපුත්‍රයෙක් තුන්ගව්වක් පමණ සුස්වර නම් මහ බෙරයක් කර ලා, අටසැට දහසක් භෙරීන් හා ලක්‍ෂගණන් නළුවන් පිරිවරා, පනස් යොදුන් තැන මහ රඟමඬුලු බැඳ උතුරු සක්වළ මුවවිටියෙහි සිට ගන්ති.[90]

තව ද: අලම්බුසාදි වූ නාටක ස්ත්‍රීන් අතුරෙන් ගර්‍ගරා නම් දිව්‍යඞ්ගනාවක් තමාගේ පිරිවර ගෙන අවුදින් තුන්ගවු දිග මහවෙණ නම් වීණාවක් අතින් ගෙන එකවිටක් ගායි; එකෙණෙහි අටසැටදහසක් වීණා නාද පැතිර දෙව්ලෝ පුරා සිට ගන්ති. තවද: සුධර්මා නම් දිව්‍යාඞ්ගනාවක් සපිරිවරන් අවුත් සිට තුන් ගව්වක් දිග සුන්‍දර රාව නම් වස්දණ්ඩක් පිඹලයි. කෙණෙහි අටසැට දහසක් වස්කුලල් තෙමේ ම රැවු දෙයි. තව ද: ආහත්‍යසරියා නම් දිව්‍යාඞ්ගනාවක් සපිරිවරින් අවුත් සිට තුන්ගව්වක් දිග නලබු නම් වීණාවක් ගාලයි. එ කෙණෙහි අටසැට දහසක් වීණා කඳ තෙමේ ම ගායනා කෙරෙයි. තව ද: මණිමේඛලා නම් දිව්‍යාඞ්ගනාවක් සපිරිවරින් අවුත් සිට විජයතුරා නම් සකක් පිඹියි. එ කෙණෙහි ද අටසැට දහසක් වියජතුරා නම් සක් තෙමේ ම තමාට නාද කෙරෙයි. තව ද: මනොහරා නම් දිව්‍යාඞ්ගනාවක් තුන්ගව්වක් සා පෘථුබිම්බ නම් මිහිඟු බෙරයක් ගසයි. එ කෙණෙහි ද අටසැටදහසක් මිහිඟුබෙර තෙමේ ම නාද කෙරෙයි. රැවු දෙයි. තව ද: අතිවෘත්තිකා නම් දිව්‍යාඞ්ගනාවක් සපිරිවරින් අවුත් සිට තුන්ගව්වක් සා ආනන්‍ද ජනක නම් මිහිඟු බෙරයක් ගසයි. එ කෙණෙහි ද අටසැටදහසක් ආනන්‍ද භෙරි තෙමේ ම නාද පවත්වයි. තව ද: මත්තකී නම් දෙව් දුවක් සපිරිවරින් අවුත් සිට තුන්ගව්වක් පමණ එකච්ඡිද්‍ර නම් ගායනාවක් කෙරෙයි. එ කෙණෙහි අටසැටදහසක් එකච්ඡිද්‍ර තෙමේ ම නාද කෙරෙයි. තව ද: නන්‍දා නම් දිව්‍යාඞ්ගනාවක් කෞණ්ඩස්වර නම් තුන්ගව්වක් දිග මහා වීණාවක් ගායනා කෙරෙයි. එ කෙණෙහි අටසැටදහසක් කෞණ්ඩස්වර තෙමේ ම නාද කෙරෙයි. තව ද: යාමා නම් දිව්‍ය ස්ත්‍රියක් තුන්ගව්වක් සා චිත්‍රපුෂ්කර නම් පටහ භෙරියක් ගසයි. එ කෙණෙහි පිරිවර අටසැට දහසක් පටහ බෙර තෙමේ ම රැවු දෙයි. තව ද: ඝොරස්වර නම් දිව්‍යාඞ්ගනාවක් තුන් ගව්වක් දිග මන්‍දස්වර නම් මිණිපර්වයක් වය යි. එකෙණෙහි පිරිවර අටසැට දහසක් මිණිපර්ව තෙමේ ම රැවු දෙයි. තව ද: සර්වාඞ්ගශෝභනා නම් දිව්‍යාඞ්ගනාවක් තුන්ගව්වක් දහ මහාඝෝෂා නම් බෙරක් ගසයි. එ කෙණෙහි අටසැට දහසක් පිරිවර මහාඝෝෂා නම් බෙර එකවිටම නාද කෙරෙයි. මෙසේ ම නොයෙක් දහස් ගණන් දිව්‍යාඞ්ගනාවෝ ආතත ය - විතත ය - ආතත විතත ය- ඝන ය - සුසිර ය යන නොයෙක් නාමයෙන් විසිතුරු වූ වාදයෙන් වාද්‍ය කරන්නාහු ය.

මෙසේ නොයෙක් දිව්‍ය නළුවන් පිරිවරා ඒ සක්දෙව් රජ උයන් කෙළියට යනුයේ ඇතැම් කලෙක විස්වකර්මයා මැවු නාරි වාහන නම් සත්රුවන්මය වූ විසිතුරු මණ්ඩපයෙකින් යෙයි. ඇතැම් කලෙක දහස් ගණන් දිව්‍ය වූ ශ්වේත සෛන්‍ධවයන් යෙදූ පඤ්චවර්ණ වූ ධ්වජමාලාවෙන් හොබනා වූ සත්රුවන්මය වූ යෙළ සියයක් යොදුන් විජයත් නම් දිව්‍යරථයෙන් යෙයි. සමහර කලෙක ඓරාවණ නම් හස්තිරාජයා පිටට පැන නැති මහත් වූ ඓශ්චර්‍ය්‍යෙයන් යෙයි. එ් කෙසේ වූ ඇතෙක් ද යත්,

දෙව්ලොව තිරිසනුන් නැති හෙයින් එක් දිව්‍යපුත්‍රයෙක් ඓරාවණ නම් ඇත්වෙසයක් මවාගන්නි ඔහුගේ දිග යෙළ සියයක් යොදුන, උස අනූ යොදන. බොල පනස් යොදුන, කුඹු තෙනිසක් ඇත. එකෙකි කුඹෙහි පනස් යොදුන් පමණ දිග ඇති සත්දළ ය. එකි එකී දළෙහි සත් සත් පොකුණු ය. එකි එකී පොකුණෙහි සත් සත් පියුම් ගස ය. එකෙකි ගසෙහි සත් සත් පියුම් වෙයි. එකෙකි පියුමත් සත් සත් පෙති වෙයි. එකෙකි පෙත්තෙහි තුන්ගවු උස දිව්‍යාඞ්ගනාවෝ සත් සත්දෙන නටන්නා හු ය. එකෙකි දිව්‍යාඞ්ගනාව පිරිවරා සත් සත් දිව්‍යාඞ්ගනාවෝ සිටිනාහු ය. මෙසේ එක එක හස්තිරාජයාගේ ම කුඹු තෙතිසක, දළදෙසිය එක්තිසෙක, පොකුණු එක්දහස් සසිය දසසතෙක, පියුම් ගස් එකොළොස්දහස් තුන්සිය දසනවයෙක. පියුම් සැත්තෑනවදහස් දෙසිය තෙතිසෙක. පෙති පස් ලක්‍ෂ සිවුපනස් දහස් සසිය එක් තිසෙක. නාටකස්ත්‍රීන් අටතිස් ලක්‍ෂ දෙයාසූදහස් සාරසිය දසසත්දෙනෙක. පරිවාර ස්ත්‍රීන් දෙකෙළ එක්සැත්තෑ ලක්‍ෂ සැත්තෑදහස් නවසිය දසනවදෙනෙක. මෙසේ අලඞ්කෘත වූ ඒ හස්තිරාජයා පිට සක්දෙව් රජහට දිග පනස් යොදුන්, උස පසළොස් යොදුන්, සත්රුවන් මණ්ඩපයක් හෝ මැවී යෙයි. නොහොත් මධ්‍යයෙහි සුදර්ශන නම් මහකුඹ පිට දොළොස් යොදුන් රුවන් මඩුවෙක් හෝ මැවී යයි.

ඒ මඩුවෙහි සුවාසූදහසක් පමණ සත්රුවන් පා පෙළ වෙයි. එකෙකි පා පෙළ වැළඳ සිටිනා වූ සත් සත් රන්ලිය වෙයි. එකෙකි ලීයෙහි සත් සත් මල්කැන් වෙයි. ඒ අතරතුරෙහි සත්රුවන්මය වූ ධ්වජපෙළ වෙයි. තැන තැන එලෙන මිණිකිකිනි දැල් වෙයි. ඒ දැල් මන්‍දමාරුතයෙන් පහළ කළ පඤ්චාඞ්ගික තූර්‍ය්‍යනාදයේ මධුර නාද ඇසෙයි. ඒ මඩුව වටාමණිමය වූ පදනම් වෙයි. ඒ පදනමින් පිටත අටවිසි යක්‍ෂසේනාධිපතිවරු ආයුධ ගෙන සිටිති. ඒ පදනමින් ඇතුළ සක්දෙව් රජහට වල්ලභ වූ මහේසාක්‍ය දිව්‍යරාජයෝ සිටිති. තෙතිස්කුඹෙහි මැවු තෙතිස් රුවන් මඩුවල තෙතිස් දිව්‍යපුත්‍රයෝ සහපිරිවරින් සිටිති. ඒ රුවන් මඩුවල මැද යොදනක් උස් මිණි පළඟ මතුවෙයි තුන්යොදුන් උස සේසත් යට සක්දෙව් රජ සැට ගැළක් පුරාලන ආභරණ හා යෙලයාලක් සුවඳ විලවුන් ගල්වා, ගවුඋස මිණිඔටුනු පැළඳ මහත් වූ දිව්‍යරාජශ්‍රීන් සෝභමාන ව හිඳ ගන්ති.

එ වේලෙහි සුධර්මානම් අගමෙහෙසුන් දිව්‍යාඞ්ගනා දිව්‍යපළඳනාවෙන් සැරහී ලක්‍ෂගණන් දිව්‍යාඞ්ගනාවන් පිරිවරා සක්දෙව් රජමට අභිමුඛ ව හිඳ ගන්ති. සුජාතා නම් වල්ලභ ස්ත්‍රී දිව්‍යාභරණයෙන් සැරහී ලක්‍ෂගණන් දිව්‍යස්ත්‍රීන් පිරිවරා දකුණුපස හිඳගන්ති. නන්‍දා නම් දිව්‍යාඞ්ගනා ද සර්වාභරණයෙන් සැරහී ලක්‍ෂ ගණන් දිව්‍ය ස්ත්‍රීන් පිරිවරා වම්පස හිඳගන්ති. චිත්‍රා නම් දිව්‍යාඞ්ගනා සර්වාභරණයෙන් සැරහී ලක්‍ෂගණන් දිව්‍යස්ත්‍රීන් පිරිවරා පිටිපසුයෙහි හිඳගන්ති. මෙසේ අගබිසෝවරුන් සතර දෙනා සැරහී ගෙන පළමු ව උන් කල්හි තව ද: සක්දෙව්රජහට වල්ලභ වූ තෙයානූදහසක් දිව්‍යාඞ්ගනාවෝ සැරහී රුවන් ඝටාදී පානීය භාජනයන් ගෙන හාත්පසින් හිඳිනාහු ය. ඔවුන් පිරිවරා නොයෙක් ලක්‍ෂගණන් දිව්‍යාඞ්ගනාවෝ පුන්කලස් ගෙන සිටිනා හු ය. මෙසේ අඩුතුන් කෙළක් දෙවඟනන් හා අටවිසි යක්‍ෂ සේනාධිපතීන් ආදී වූ දෙදෙව් ලොව දෙවියන් පිරිවරා සූවිසි කෙළක් දිව්‍යනාටකයන්ගේ විසිතුරු වූ දිව්‍යගායනා විඳ විඳ ඔහු නන්‍දෙනාද්‍යානාදියට නික්මුණු වේලෙහි මල්වැසි ද වස්නේ ය.

මෙසේ ඒ ශක්‍රයාගේ සම්පත් එක මුඛයෙකින් තබා දහසක් මුඛයෙකිනුත් කියා නිමවාගත නො හැක්කේ ම ය. මෙසේ වූ ඓශ්චර්‍ය්‍ය සම්පත් කෙසේ වූ පින් කොට ලදුයේ දැයි යතහොත්;

මේ තමා මිනිස්ලොව වසන කල මවුපියන්ට කීකරු ව, අත්පා මෙහෙ කෙළේ ය. කුල වැඩිමහල්ලන් දැක ආදර කෙළේ ය. සියලු සතුන්ට මට සිලුටු වූ ප්‍රියතෙපුල් කී ය. කේළමා නො කී ය. අලොභී වි ය. බඹසර වස් රක්‍ෂා කෙළේ ය. එක දවසෙකත් අනුන්ට නො කිපියේ ය. මේ සප්ත ප්‍රකාර වූ ගුණධර්මයන් හේතුකොට ගෙන මේ සා ශක්‍රසම්පත් ලැබුයේ යි දතයුතු. වදාළේ මැනෝ:-

මාතාපෙත්ති භරං ජන්තුං - කුලෙ ජෙට්ඨාපචායිනං,

සණ්හං සඛිල සම්භාසං - පෙසුණෙය්‍යප්පහායිනං.

.

මච්ඡෙරවිනයෙ යුත්තං - සච්චං කොධාභිභුං නරං,

තං වෙ දෙවා තාවතිංසා - ආහු සප්පුරිසො ඉති යි.

තව ද: මේ සක්දෙව්රජහු ම අප බුදුන් වැදහෙව තුන්කෙළ සැට ලක්‍ෂයක් ආයු ලැබ අසූදහසක් දෙවියන් සමග සෝවාන් වූ පරිදි කෙසේ ද? යත්;

එක් සමයෙක මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මගධරට රජගහා නුවරට පැදුම් දෙසෙහි මහ අඹවනයක් සමීපයෙහි ඇති වූ හෙයින් අඹසැසි නම් වූ බමුණු ගමට උතුරුදිග සිසාරා නිල්වනයෙකින් පරික්‍ෂිප්ත වූ හෙයින් වේදිය නම් වූ පර්වත මුදුනෙහි දොර සිටි ඉඳුසල් ගසක් ඇති හෙයින් ඉන්‍ද්‍රශාල ගුහාය යි ප්‍රසිද්ධ වූ, පවුරු පදනම් දොරටුයෙන් යෙදුනා වූ ගල්ගුහායෙක වැඩවසන සේක. එ කල ශක්‍රයාට බුදුන් දක්නා රිසි වි ය. තෙමේ ඇම විට ම බුදුන් දැක දැක ම සිටිනා කැමැත්තේ ය. දෙවියන්ගේ කාර්‍ය්‍ය බොහෝ සෙයින් තමා ඉතා අප්‍රමාද ව ඔබත් ව්‍යාපෘත වෙයි. බුදුන් කරාත් ඒ ම ය. එ දවස් වනාහි තමාගේ ආයුක්‍ෂ්‍ය වූ ම හෙයින් මරණ භයින් වෙවුලා බුදුන් දක්නා කැමැති විය. කෙසේ ද? යත්;

ඔහු මනුෂ්‍යගණනායෙන් තුන්කෙළ සැටලක්‍ෂයක් හවුරුදු ශක්‍රසම්පත් විඳ, ආයු ගෙවුනු කල පඤ්චපූර්වනිමිත්ත දැක, තමාගේ ආයු පිරිහී ගිය බව දැන, බුදුන් දක්නා කැමැති විය. එහි මඳ මඳ පිනක් කොට උපන් දෙවියන්ට මරණ කාරනා පෙනුණු කල “අප කළ පින් ගෙවින. මෙයින් ගොස් කොයි උපදුමෝදෝ හෝ යි මහත් වූ භය ඇති වෙයි. බොහෝ පින් කොට උපන් දෙවියෝ මරණ කාරණ දුටුකල “මතුමත්තෙහි දෙව්ලොවට නැඟෙම්හ”යි සතුටු වෙති.

සක්දෙව් රජහට පූර්වනිමිත්ත පෙනුණු වේලෙහි මේ දසදහසක් යොදුන් ශක්‍රපුරය ද, දහසක් යොදුන් විජයත් නම් මහපාය ද, පන්සියක් යොදුන් සුධර්මා නම් දිව්‍යසභාව ද, සියක් යොදුන් පරසතු මදාරාගස ද, සැටයොදුන් පාණ්ඩුකම්බල ශෛලාසනය ද, අඩුතුන්කෙළක් දිව්‍යාඞ්ගනාවෝ ද, දෙදෙව්ලොව දිව්‍යසේනාව ද, දහසක් යොදුන් නන්‍දෙනාද්‍යානය ද, යනාදි තමාගේ ශක්‍රසම්පත් බලා “මේ සා සැපතෙකින් පිරිහෙමි”යි භයින් වෙවුලා ගිය.

ඉක්බිත්තෙන් “කවර මහණෙක් බමුණෙක් දෙවියෙක් බඹෙක් මේ ශෝක නමැති ශල්‍යය මාගේ ලෙන් හයා හැර මාගේ මේ දිව්‍යසම්පත්තිය ස්ථාවර කොට ලන තරුණ පුරුෂයෙක් ඇද්දෝ හෝ නැද්දෝ හෝ”යි බලා කිසි සත්ත්‍වයකු නො දැක, නැවත පරීක්‍ෂා කොට, කරුණා නිධාන වූ පරදුඃඛ දුඃඛිත වූ සද්ධර්ම චූඩාමණි වූ මාගේ බුදුන් සිහිකොට “මා සේ වූ එක සත්ත්‍වයකු තබා සියක් දහසක්-ලක්‍ෂයක් සත්ත්‍වයන්ගේ ශොකශල්‍යය බුදුහු හරණා සේකැ”යි සිතූ වේලෙහි නැවත ඔහුගේ මරණභය සන්හිඳී එවිට ම ගොසින් බුදුන් දකිනට උත්සාහ වැඩින.

එ කල ශක්‍රයා අප බුදුහු කෙසේ වූ තැනක දනව්වෙක, කෙසේ වූ සත්ත්‍වයකුගෙන් දන් වළඳා, කෙසේ වූ සත්ත්‍වකෙනකුන්ට දහම් අමා දෙන සෙස්ක් දෝ හෝ යි පරීක්‍ෂා කොට බලනුයේ යට කී ඉන්‍ද්‍රශාල නම් ගුහායෙහි වැඩවසන සේ දැක, බුදුන් දක්නා මා හා සමග එව” යි තවුතිසා භවනයෙහි දෙවියන් කැඳවී ය.

එකලාව නො ගොසින් කුමක් නිසා ඇමදෙවියන් කැඳවී ද? යත්; පෙර එක් දවසක් මෙම සක්දෙව්රජ බුදුන් ජේතවනාරාමයෙහි සල්ලාගාර නම් ගඳකිළියෙහි වැඩවසන කල එකලා ව බුදුන් දැක බණ අසන්ට ගිය. බුදුහු ඔහුගේ අධිගම ලබන නුවණ තව ලා සේ දැක, “මතු ඉන්‍ද්‍රශාල ගුහාවෙහි දී අසූදහසක් දෙවියන් සමග මාර්ගඵල දෙමි”යි සිතාලා ඕහට එදා අවකාශ නුදුන් සේක. ඒ කාරණයෙන් “එකලා ව ගියෙම් නම් අදත් අවකාශ නො ලදිම් නම් නො යෙදෙයි. බොහෝ දෙවියන් හා සමග ගිය කල කිසිකෙනකුන් උදෙසා බණ වදාරණ සේකැ”යි සිතා තමා නුවණැ‘ති හෙයින් තවුතිසා වැසි දෙවියන් ඇමදෙනා ම කැඳවී ය යි දතයුතු.

ඉක්බිත්තෙන් දිව්‍යසේනාව එ බස් අසා “මහරජ! තට වැඩෙක් වේව යි, බොහෝ දවසක් ජීවත් වේව යි, උයන්කෙලි හිමවුකෙළි ගංගාකෙළියට යම්හ යි නොකියා අප බුදුන් කරා යම්හ යි සිතු සේ මැනැවැ”යි සතුටු ව සක්දෙව්රජහුගේ එ තෙපුල් මුදුනෙන් පිළිගෙන හැම දෙවියෝ නික්මුණහ. එ කල සක්දෙව්රජ දිග් කළ අතක් වක් නො කරන ඇසිල්ලෙහි දෙව්ලොවින් පහ ව ඒ වෙදිය නම් පර්වතයට බැස පෙර එක දෙවියකු බඹකු එ තෙනට බට කල මහත් වූ ආලෝක වෙයි. එදා දෙදෙව්ලොව දෙවියන් හැමදෙනාගේ ශරීර ප්‍රභායෙන් ඒ පර්වතය හිරුදහස් සඳදහස් නැංගා සේ විය.

එ වෙලාව නම් සවස මනුෂ්‍යයන් කන බොන බාලදරුවන් දොර හිඳ කෙළිනා වේලාව ය. ඒ කාරණයෙන් ඒ දනව්වෙහි සියලු මනුෂ්‍යයෝ දිලියෙන පර්වතය දැක “අප බුදුන් කරා මෙතෙක් කල් දෙවියෝ මධ්‍යම රාත්‍රියෙහි එති. අද පෙරයම් වේලෙහි ම ආවාහු ය. කිමෙක් දෝ මහේශාක්‍ය දිව්‍යරාජයෙක් හෝ බුදුන් කරා පැන විචාරන්ට ආ වන. අප බුදුහු කෙසේ නම් පැන වදාරණ සේක් දෝ හෝ, එසේ වූ දෙවියන්ගේ පවා සැකහරණ බුදුහු දැන් අපට නුදුරු තෙන වසන සේක. එසේ වූ ස්වාමිදරුවන්ට බත් සරළුවක්, කැඳ සරළුවක් දුන්නා වූ සත්‍වයන්ට වඩා මේ ලෝකයෙහි පිනැත්තෝ නැතැ”යි සිත සිතා, කිය කියා, සියලඟ ලෝමහර්ෂ ගන්ව ගන්වා දොහොත් මුදුන් බැඳගෙන සාධුකාර පූජා දහස්ගණන් කොට කොට බල බලා සිටිනාහු ය.

එ කල සක්දෙව්රජ පඤ්චසිඛ නම් දිව්‍යපුත්‍රයා කැඳවා “පඤ්චශිඛ ය! මම සරාගී යෙමි. බුදුහු අරාගී සේක. එසේ හෙයින් බුදුන්ගේ අදහස් කාටත් නො දැනෙයි. තෝ පළමුකොට පලාගොස් බුදුන් සතුටු කරවා මා ආ බව කියා අවසර ඉල්වා දීලව. එකල මම ගොස් දැක වඳිමි”යි කීහ. කාරණ කිම? යත්; මේ පඤ්චශිඛ දිව්‍ය පුත්‍රයා නම් බුදුන් කෙරෙහි වල්ලභ ය. සිතු සිතු විට ගොස් බුදුන් හා සමඟ කථා කෙරෙයි. භය නැති ව ගොස් අවසර ඉල්වා දෙන දෙවියෙක් සදෙව්ලොව ම මෝහට වඩා නැත. එසේ හෙයින් ඔහු ම යැවීය.

ඉක්බිත්තෙන් ශක්‍රයා කී බස් ගිවිස ඒ පඤ්චසිඛ දිව්‍යපුත්‍ර තෙම තමාගේ බෙලුව පණ්ඩු නම් වීණාව ගෙන බුදුන් කරා නික්මින. ඒ කෙසේ වූ වීණාවෙක් ද? යත්; ඒ වීණාවෙහි පොකුර ඝනරන්මය ය. කඳ ඉඳුනිල්මිණිමය ය. තත් රිදීමය ය. වෙඨන ය ප්‍රවාලමය ය. වීණාපත්‍ර ය ගව්වක් දිග ය. තත් ගව්වක් දිග ය. කඳ ගව්වක් දිග ය. මෙසේ තුන්ගව් පමණ දිග ඒ වීණාව ඇරගෙන මුසතින් මුසන් කොට සදා, නිය අගින් පැහැර, මධුර වූ ගීතස්වරයක් හැරලා, ඒ වීණාකඳ අල්ලෙහි තබාගෙන, බුදුන් වැඩහුන් ඒ ඉන්‍ද්‍රශාලා නම් ගුහාවට වැද, නුහුරු නො ලං ව බුදුන් අභිමුඛයෙහි සිටගෙන වීණා කඳ වමතින් ගෙන, දකුණතින් වීණාපත හා සමග බුදුන්ට නමස්කාර දක්වා ලා, බුදුන්ගේ ශ්‍රී මුඛය බල බලා, බුදුන්ට ස්තුති කොට කොට, ධර්මයට ස්තුති කොට කොට, රහතන්ගේ ගුණ කිය කියා, කාමගුණ උදෙසා පෙර තමා බැඳගෙන ගායනා කළ ගාථාවන් කිය කියා, ගායනා කරන්නට පටන් ගත. හේ මෙසේ යි.

වන්‍දෙ තෙ පිතරං භද්දෙ - තිම්බරුං සුරියවච්චසෙ,

යෙන ජාතාසි කල්‍යාණි - ආනන්‍දජනනී මම යි

යනාදී ගාථාවන් කිය කියා වීණාව ද ගායනා කෙරෙයි. එහි අර්ථ කිම? යත්; එම්බා සුරියවච්චසා නම් ඉතා මනෝහර වූ හස්ත පාදයන් ඇත්තේ ය. සිතු සිතු විට මාගේ සොම්නස් වඩන්නී ය. පාදාන්තයෙහි පටන් කේශාන්තය දක්වා හිරිරස්කලබක් සේ සිය ළඟින් නික්මෙන්නා වූ ප්‍රභා ඇති හෙයින් සුරියවච්චසා යි නම් ලද එසේ සුන්‍දර වූ රුසිරින් දිලියෙන්නා වූ සුරියවච්චසා නම් දිව්‍යාඞ්ගනාව! තීගේ පියාණන් තිම්බරූ නම් ගන්‍ධර්ව දිව්‍යරාජයන් තී මට දෙතෝතින් බැසහෙව වඳිමි. ශෝකීන්හට මන්‍දමාරුතයක් සේ පිපාසිතයන් හට අහස් ගංඟාවක් සේ, බඩදලයක්හට අමා පාත්‍රයක් සේ, රෝගීයක්හට දිව බෙහෙතක් සේ, රහතන්ට සද්ධර්මයක් සේ, ගින්නට ඇල්දිය කඳක් සේ, තී නිසා උපන් මාගේ කාමපරිඩාහය ද නිවා හැරපීය. තව ද යම් සේ මිරිඟු සොයා ඇවිදුනා අඥාන වූ ඇත්පොව්වෙක් පස්පියුම් විලකට බැස, සිත් සේ පැන් බී සොඬ අග විවරක් තිබිය දී සර්වාඞ්ගයෙන් දියෙහි ගැලී ඒ සිහිල්දියෙහි සුව විඳී ද, ඒ හස්තිරාජයා සේ ම මම ද තී තන බඩතුර නමැති සරසියට බැස කවර නම් දවසෙක සිත් සේ සුව විඳිම් ද, තව ද මදයෙන් මත් වූ ඇත් පොව්වෙක් තෝමරාඞ්කුශයෙන් උදවන ලදුයේ කාරණ කාරණ නො දනී ද, ඔහු සෙයින් ම මම ද කාමෝන්මාද වූ ස්වභාව ඇතියෙම්, විරාගයට සුදුසු වූ කිසි කාරණයක් නො දතිමි. සොඳුර තී කෙරෙහි ලෝභසිතින් කිසිවක්බිලියක්හුගේ බස් මා කණ නො හේ ම ය. මා තී කෙරෙහි බද්ධ කාම චේතනාව බිලියක් ගිලූ මසකු සේ ගළවා ගන්ට නො පොහොසතිමි. යම් සේ රහතන්ට ස්වල්ප වූ දානයක් දුන්නා වූ සත්ත්‍වයන්ට නොඑක් දිව්‍යසම්පත් දෙන්නේ ද, එහෙයින් ම තේ ද අග් බඹරු ව මතු බලා තිබෙන්නා වූ සිනිඳු වූ කේශකලාපයන් ඇත්තෙහි ය. තුන්හවුරුදු මුවපොල්ලකු බඳු වූ දිගු පුළුල් ඇස් ඇතියෙහි ය. මට පළමු ව උපන්නා වූ එක්සිත. දැන් තී පිණිස නො එක් සිත් වි ය. රහතන් දැක මා කළා වූ නො යෙක් පින් කමෙක් ඇත්තේ වී නම් එයිත් මට තී හා සමග ම විපාක දේව යි. පෙර මා මිනිස්ලොව දී මිනිසුන්ට දුන් දනෙක් ඇත් නම් තී හා සමගම විපාක දේව යි යම් සේ ක්‍ෂත්‍රිය වංශයෙහි උපන්නා වූ අප බුදුහු පළමු නිවන් සොයා ඇවිදි සේක් ද එ සෙයින් ම මම ද දැන් තී සොයා ඇවිදිමි.

සූරිය වච්චසාව

යම් සේ මාගේ බුදුරජාණෝ බෝධිපර්‍ය්‍යඞ්කයෙහි හිඳ සව්නේ ගෙවා දැන බුදු වූ වේලෙහි ඉතා සන්තෝෂ වූ සේක් ද එසෙයින් ම මම ද තී ලද්දා ඉතා සතුටු වෙමි. ඉදින් අපගේ සක්දෙව්රජ මා කෙරෙහි සන්තෝෂයෙන් වරයෙක් දෙනුයේ මේ මාගේ මෙ දෙ දෙව්ලොව දිව්‍යරාජ්‍ය ය කැමැත්තෙහි ද, සුරියවච්චසාව කැමැත්තෙහි දැ” යි කී නම් ඒ ශක්‍රසම්පත් හැර පියා මම තී කැමැති වෙමි. සොඳුර! තීගේ පියාණන් තිම්බරූ නම් දිව්‍යරාජයාගේ නුවර දොර අලුත මල් පිපී සිටි සල්රුකෙක් ඇත. ඒ ශාලරාජයා ඉතා මනෝහර ය. ඒ ශාලවෘක්‍ෂරාජයා සේ ම දිව්‍යශ්‍රීන් භරිත වූ තී පිය ඒ දිව්‍යරාජයා වඳිමි යි යනාදීන් මෙසේ අමා හා සිරිඟි හා, එක බඳනෙක ලාලා හලන්නකු සේ බුදුගුණ සම්මිශ්‍ර වූ ගාථා කිය කියා බුදුන් ඉදිරියෙහි සිටගෙන අලජ්ජිව ගායනා කෙරෙයි. බුදුහු එකල “පඤ්චසිඛ ය! තාගේ ගීත ස්වර ය, හා වීණා ස්වර ය සම ම ය. වීණා ස්වරය හා ගීතස්වරය සම ම ය. ගීත ස්වර ය තන්ත්‍රිස්වර ය නො ඉක්මෙ යි. තන්ත්‍රිස්වරය ගීත ස්වරය නො ඉක්මෙ යි” වදාළ සේක.

අරාගී බුදුහු ගීතස්වරය හා වීණාස්වරයාගේ ගුණ කුමක් උදෙසා වදාළ සේක් ද? යත්; බුදුන්ට ශබ්දානුරාගය හා ඇති වේ ද? යත්; අහසට පොළොව දුරුවූවා සේ මාගේ ස්වාමිදරුවාණන්ට ශබ්දානුරාගයෙක් නැත. බුදුහු එක ශබ්දයකුත් පරවැඩක් සිතා ම වදාරණ සේක. ඉදින් මොහුගේ ගායනාවෙහි ගුණ නො වදාළ සේක් වී නම් ඒ තමාට අවසර දුන් බව නො දන්නේ ය. ශක්‍රයා “තච පඤ්චසිඛය අවසර නො ලද” ය යි තමාගේ දෙවියන් ගෙන නැවත පලාගියේ නම් දෙවියන්ට මහා අලාභ වෙයි. ඔහුගේ ගුණ වදාළ කල “පඤ්චසිඛ යා අවසර ලදැ”යි ශක්‍රයා අවුදින් ම අතින් පැන විචාරයි. එ කල අසූදහසක් දෙවියන් හා සමග සෝවාන් වෙයි සිතා මේ කාරණයෙන් ඔහුගේ ශබ්දයෙහි ගුණ වදාළ සේකැ යි දතයුතු.

වස්වසා පවාරණ දා

මෙසේ බුදුහු ඔහුගේ ගීතස්වරයෙහි ගුණ වදාරා ඉක්බිති “පඤ්චසිඛ ය! තා කියන ගාථා තුණුරුවන් හා කාමගුණ උදෙසා අමා හා සිරිහි සේ විපර්‍ය්‍යාස කොට කවර කලෙක ගොතා ගත්හි දැ”යි වදාළ සේක. එ බසට පඤ්චසිඛයා කියනුයේ “ස්වාමීනි! නුඹ වහන්සේ බුදු වූ අටවන සතියෙහි අජපාල නම් වෘක්‍ෂෂමූලයෙහි වැස බ්‍රහ්මාරාධනාව ඉවසූ සමයෙහි තිම්බරූ නම් දිව්‍යරාජයාහට දූ වූ නමින් භද්‍ර නම් වූ සියලඟ ප්‍රභා විහිදුනා හෙයින් සුරියවච්චසා ය යි දෙවන නමෙකින් ප්‍රසිද්ධ වූ දිව්‍යාඞ්ගනාවක් සතර වරම් රජුන් හා සමග අපගේ සක්දෙව් රජහට නැටුම් පානට ගියා ය. එ කෙණෙහි සක්දෙව්රජ බුදුන්ගේ යථාභූත වූ, විශේෂ වූ, ගුණයන් අටදෙනකු කී ය. ඕතොමෝ එ දවස් නටන්නී ඒ බුදුගුණ ඇසුව. සක්දෙව්රජ ඈ දැක මාතලී දිව්‍යපුත්‍රයාගේ පුත් වූ ශිඛණ්ඩී නම් දෙව්පුතුට ඈ ශරණපාවා දෙනු කැමැති වි ය. එ තැන පටන් මම ද ඈ පතා නොයෙක් ව්‍යසනයෙන් නො ලදිමි. දවසෙක ඈ කෙරෙහි ලෝභයෙන් මාගේ මේ බෙළුවපණ්ඩු නම් වීණාව ගගා ඈ බල බලා මේ ගාථා කීමි. ඕ තොමෝ මේ ගාථාවෙන් නුඹවහන්සේගේ ගුණ අසා “මම ඒ බුදුන් නුදුටු විරීමි. සුධර්මා නම් දිව්‍ය සභාවෙහි දී සක් දෙව්රජහු අතිනුත් ඒ බුදුන්ගේ ගුණ අටක් ඇසීමි. යම් කාරණයෙකින් තෝ ඒ බුදුන්ගේ ගුණ කීයෙහි ද, ඒ උපකාරයෙන් තා හා මා හා අද සමාගම ය වෙයි” කිව. එ දවස් නුඹවහන්සේට පිනට ඈ හා මා හා සමාගම ය විය. එදා පටන් ඈ හා මා හා සමාගමයක් තවදක්වා නො ලදුයෙමි. ස්වාමීනි! කෙසේ මට ඈ ලැබේ දැ යි අලජ්ජිත ව තමාගේ අඹුවගේ පවත් මෙසේ කිය යි.

ශක්‍රයෝ සිට, කල් යන හෙයින් “මේ පඤ්චශිඛ යා දැන් මාගේ මේවර ගොසින් තමාගේ කටයුතු කිය යි. බුදුන් ඉදිරියේ සිට කාම ගුණ අරභයා නො තරම් වූ කතා කෙරෙයි. නළුවෝ නම් ඉතා අලජ්ජියහ” යි කියා බැණ “ඉදින් මේ තෙමේ කාමයෙන් මත්ව තව ද නැටීමක් දක්වාලී නම් මාගේ කාර්‍ය්‍ය බාධා ය”යි සිතා ඔහු සෙමෙන් කැඳවා “පුත පඤ්චශිඛ ය! කථා බොහෝ නො කොට මා ආ බව බුදුන්ට වහා දන්වාලව”යි කී හ. මැනව මහරජ! යි පඤ්චසිඛයා ගොස් “ස්වාමීනි! සක්දෙව්රජ සහ පිරිවරින් නුඹ වඳිනා නිසා ආය”යි දැන්වී ය. එ වේලෙහි බුදුහු “ශක්‍රයා සහ පිරිවරින් එව”යි කියා අවසර දුන් සේක.

සක්දෙව් රජ බුදුන් කරා පැමිණීම

එ කල සක්දෙව්රජ ඉන්‍ද්‍රශාලගුහාවට වැද බුදුන් වැඳ හොත්තේ ය. ආයු ගෙවා චුත ව නො නැඟෙයි. බුදුහු සක්දෙව්රජහු මළ සේ දැක “බුදුහු නම් සිස්වලා යන්නා වූ වචනයක් නො කියති. ශක්‍රය! ආයු බොහෝ වව යි මා කී කල ඔහු මළහොත් කාරණ නො වෙයි. ආයු බොහෝ වව යි කී කල ආයු ලබන පිනක් ඇතියේ දෝ හෝ”යි ඔහුගේ ජාතිසහස්‍රයක් බලා සසර එක් ජාතියෙක මල් පිදූ මලස්නෙක මළාගිය මලෙහි පැන් අතළොස්සක් මොහු ඉසලූ පිනක් දැක ආයු ලබන පින් ඇතියේ ය යි දැන “ශක්‍රය! සහපිරිවරින් ආයු බොහෝ වව”යි වදාළ සේක.

එ වේලෙහි මාගේ ස්වාමිදරුවාණන් තමන් වහන්සේගේ සශ්‍රීක වූ ශ්‍රී මුඛයෙන් “ආයු බොහෝ වව”යි වදාළ බස හා සමගම ශක්‍රයා තුන්කෙළ සැටලක්‍ෂයක් අවුරුද්දට ආයු ලදින් නැඟී එකත්පස ව සිටියේ ය. මොහු මළ පරිදි එ තෙමේ දන්නේ බුදුහු දත් සේක. සෙසු කිසි කෙනකුත් නො දත්තාහු ම ය. එකල බුදුහු සක්දෙව් රජහට “මහරජ! තාගේ කාර්‍ය්‍ය බොහෝ වුවත් මෙ තෙනට ආයේ මැනැවැ”යි වදාළ සේක. ශක්‍රයා කියනුයේ “ස්වාමීනි! මම හැම වේලෙහි ම නුඹවහන්සේ දක්නා කැමැත්තෙමි. පොළෝ තළෙහි පටන් මෙ දෙ දෙව්ලොව දෙවියන්ගේ නො එක් කාර්‍ය්‍යයෙහි ව්‍යාපෘත හෙයින් හැම වේලෙහි ස්වාමිදරුවන් කරා නො එළැඹෙන්නේ ය. මම එක් සමයෙක නුඹවහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි සලලාගාර නම් ගඳකිළියෙහි වසන කල දක්නට ගියෙමි. එ දා නුඹ වහන්සේ එක්තරා එක් සමවතකට සමවැදලා වැඩඋන් සේක. එදා වෙසවුණු රජහුගේ භුජංගවතී නම් පාදපරිචාරිකාවක් සෙදගැමි ව දෙව්ලොව නො කැමැති ව නුඹවහන්සේ කරා අවුත් වැඳ වැඳ සිටියා ය. එදා ඒ මා දැක “බුදුන් දක්නට බැරි ය. බුදුහු ධ්‍යානයෙන් වැඩහුන්සේකැ”යි කිව. ඒ අසා මම ද “බුදුන් ධ්‍යානයෙන් නැඟි කල මා ආ නියාව ත් සැලකොට ලා මා නමින් වඳුව”යි කියාලා ගියෙමි. එදා ඕ මා නමින් වැන්දි ද, සැල කළා ද, සිහි ඇද්දැ යි විචාළේ ය. බුදුහු “තා නමින් ඕ වැන්දී ය. මට ත් කිව. සඳයන් ඇත. මම ද එදා තා නික්මුනු වේලෙහි තාගේ රථසකෙහි හඬ අසා ධ්‍යානයෙන් නැංගෙමි”යි වදාළ සේක.

ධ්‍යානයට සමවන් කල කන්මුල තබාගෙනත් පිඹිනා සක් සිත් නම් ආදියෙහි අඬ පවා නො ඇසෙත්. හෙණ දහස් සුවහස් හඬ නො ඇසෙත්. “රථසකෙහි හඬින් ධ්‍යානයෙන් නැංගෙමි”යි වදාළේ ඇයි ද? යත්; බුදුහු එදා ශක්‍රයාගේ නුවණ තව ලා සේ දැක “මතු ඉන්‍ද්‍රශාල ගුහාවෙහි දී බොහෝ දෙවියන් සමග දේශනා කොට සෝවාන් කෙරෙමි”යි සිතා ඕහට අවසර නො දෙන නිසා ඔහු අවුත් යන තෙක් ධ්‍යානයට සමවන් සේක. මේ කාරණයෙන් ඔහුගේ රථසකෙහි හඬ අසා ධ්‍යානයෙන් නැඟි සේකැ යි දතයුතු.

ඉක්බිත්තෙන් සක්දෙව්රජ කියනුයේ “ස්වාමීනි! යම් දෙවි කෙනෙක් අපට පළමු ව අපගේ දෙව්ලොව උපන්නාහු වූ නම් උන් අතින් බුදුන් ඇති කල ම අපගේ මේ දෙව්ලොව පිරෙයි. සතර අපාය සිස් වෙයි” කියා කන්පුරා ඇසීමි. දැන් මම ඒ ප්‍රත්‍යක්‍ෂ ව දිටිමි. ස්වාමීනි! නුඹවහන්සේගේ මේ බුද්ධරාජ්‍යයෙහි කිඹුල්වත් නුවර වසන ගොපිකා නම් ශාක්‍යරාජ කන්‍යාවන් තුණුරුවන් කෙරෙහි පැහැද පන්සිල් අඛණ්ඩකොට රක්‍ෂා කරන්නි “ස්ත්‍රීභාවයෙහි සිට බුදු විය නො හැක්ක. පසේ බුදු විය නො හැක්ක. චක්‍රවර්තිසම්පත් නො ලැබෙයි ශක්‍රසම්පත් නො ලැබෙයි. මාරසම්පත් නො ලැබෙයි. බ්‍රහ්මසම්පත් නො ලැබෙයි” යනු අසා ස්ත්‍රීභාවයෙහි කලකිරී පිරිමි ව උපදිමි යි ප්‍රාර්ථනා කොට වෙහෙරක් කරවා සඟ තුන්දෙනකුන් වහන්සේ පවරා නිරන්තරයෙන් සිවුපසයෙන් දන් දෙයි. බුදුන් කෙරෙහි බණ අසන කල ඕ තොමෝ භයලජ්ජා ඇතිව, ආදර ඇති ව, පවිත්‍රසීලී ව, එක් තෙනෙක වැද හිඳ, දොහොත් මුදුනෙහි තබාගෙන, දස නො බලා කිසි කෙනකුන් හා කථා නො කොට, බුලත් පමණකුත් නොකා, නො නිදා, එකඟ වූ සිතින්, බුදුන්ගේ ශ්‍රීමුඛය බල බලා, බණ අසා මේ ආදි වූ පින් කොට මය ස්ත්‍රීභාවයෙන් මිදී, තව්තිසා දිව්‍ය භවනයෙහි ලක්‍ෂගණන් දිව නලුවන් හා සමග, දහස් ගණන් දිව්‍යාඞ්ගනාවන් පිරිවරා සක්දෙව් රජහට පුත් ව ඉපැද ගොපික නම් දිව්‍යපුත්‍ර ය යි මෙ නමින් ප්‍රසිද්ධ ව ශක්‍රයා හා සම වූ සම්පත් විඳ, ඈට අනුශාසනා කොට දන් වැළඳූ භික්‍ෂූහු තුන්දෙන නිම්මල වූ ශීලය රක්‍ෂා කොට ධ්‍යානලාභී ව වසන්නාහු, බණ අසන කල දස බල බලා නිඳ නිඳා සරු නැති ව හුන් අකුශලයෙන් බ්‍රහ්ම ලෝකොත්පත්තියෙන් පිරිහී මිය යට තරු පෙනෙන දිව්‍යලෝකයෙහි පූර්වනිකාන්තික නම් ගන්‍ධර්වදිව්‍යයන් හා එක් ව ඉපැද ප්‍රභාසම්පන්න ව දිවසුව විඳිනාහු ය. දවසෙක දහස්ගණන් දිවනළුවන් පිරිවරා ඒ ගන්‍ධර්ව දිව්‍යයෝ තුන්දෙන තුන් ගවු දිග මහබෙර කර ලා ගෙන ශක්‍රදේවරාජයාහට සේවය කරම්හ යි සුධර්මා නම් දිව්‍යසභාවට අවුත් පනස් පනස් යොදුන් තැන රඟමඬුලු බැඳ සිටගත්හ. සිල් රක්‍ෂාකොට දෙව්ලොව උපන්නවුන් හෙයින් මොවුන් තුන්දෙනාගේ ශරීරප්‍රභා හා ගායනා හා ඉතා ම මනෝඥ ය.

යට කී ගොපික නම් දිව්‍යපුත්‍රයා සක්දෙව්රජහු ළඟ මලස්නෙක හුන්නේ මේ දිව්‍යපුත්‍රයන් තුන්දෙනා දැක “මේ දෙවියෝ තුන්දෙන ඉතා ප්‍රභා සම්පන්නයහ. ඉතා රූපත්හ. හීන වූ ගන්‍ධර්වයන් කෙරෙහි කොයි සිට අවුත් උපන්නු දෝ හෝ”යි පරීක්‍ෂා කරනුයේ “පෙර මු මහණු තුන්දෙනෙකැ”යි දිව. සකස් කොට සිල් රක්‍ෂා කළෝ දෝ හෝ නො කළෝ දෝ හෝ යි පරීක්‍ෂා කොට බලනුයේ සකස් කොට ම සිල් රක්‍ෂා කළහ යි දිට. ත වද: අනික් ගුණධර්මයක් බලනුයේ ධ්‍යානලාභී වූ සේ දිට. කොයි වැස සිල් රක්‍ෂා කළෝ දෝ හෝ යි බලනුයේ පෙර තමාට කුලුපග ව සිවුපසය වළඳා අනුශාසනා කළහ යි දිට. පිරිසිදු කොට සිල් රක්‍ෂා කළ සත්ත්‍වයෝ සදෙව්ලොවින් කැමැති දෙව්ලොවෙක උපදනාහු ය. ධ්‍යානලාභී වූ නම් බඹලොව උපදනාහු ය. මොහු තුන්දෙන ම ධ්‍යානත් ලදින් බ්‍රහ්ම ලෝකයෙහිත් නුපන්නාහ. සිල් රක්‍ෂා කොට උඩ දෙව්ලොවත් නූපන්නාහ. හීන වූ ගන්‍ධර්වයන් කෙරේ ඉපැද ගියහ. මම මුන්ගෙන් බණ අසා අවවාද ලදිම් ස්ත්‍රී ව සිට දෙදෙව්ලොවට අධිපති වූ සක්දෙව්රජහට පුත් ව ඉපැද ගියෙමි. මොවුන් ලජ්ජා වන සේ දොඩමි යි සිතා කිපී මුහුණ බලා “එදා තෙපි බුදුන් බණ වදාරණ වෙලෛහි දස බල බලා නිඳ නිඳා කතා කොට වික්‍ෂෙප ව බණ ඇසුව. එ කල මම ස්ත්‍රී ව සිට ශ්‍රද්ධාවෙන් ආදර ඇති ව බණ අසා පින් කොට තවුතිසා දෙව්ලොව උතුම් ව උපනිමි. තෙපි වනාහි අපට අවවාද දී මහණ දම් පුරා හීන වූ ගන්‍ධර්වනිකායෙහි ඉපැද පෙර අප හ. එක් ව පින් කොට අපට දැන් බෙර ගසන්නට අවු ද, තෙපි තමා ලජ්ජා නැතියා දැ”යි කී ය.

ඒ දෙවියන් තුන්දෙනා අතුරෙන් දෙදෙනෙක් සිතන්නාහු “කෙළි නම් පානාහු බලන්නවුන්ගෙන් ප්‍රසාද ලැබෙති. මේ ගොපික දිව්‍යපුත්‍රයා අප දුටු වේලෙහි පටන් ගින්නට දමාලූ ලුණු පුපුරන්නා සේ දත් කකා තතනයි. කාරණ කිමෙක් දෝ හෝ”යි පරීක්‍ෂා කරන්නාහු පෙර තමන් මහණදම් පිරූ බවත් සිල් රක්‍ෂා කළ බවත්, ධ්‍යානලාභී බවත්, මෝහට ම කුලුපග වූ බවත්, දැක උපන් ලජ්ජාවෙන් කර තුබූ බෙර ගළවා තබා එම දිව්‍යසභාවෙහි ම සිට භාවනා කරන්නාහු පෙර තමන් බොහෝ දවසක් වසීභුත කළා වූ භාවනා හෙයින් ඇසිල්ලෙකින් අනාගාමි මාර්ග ඵලයට පැමිණ, ඒ තුන්ගවු උස දිව්‍යශරීරය කුණපයක් සේ හැර, එයින් සැව දොළොස් යොදුන් බ්‍රහ්ම ශරීර ලදින් ඒ ගොපික නම් දේවතාවා ආදි වූ බොහෝ දෙවියන් බල බලා සිටිය දී ඔවුන්ගේ හිස පියපස් ඕනා සේ ගොස් බ්‍රහ්මපුරෝහිත නම් බඹලොව උපන්නාහු ය. එකෙක් පඤ්චකාමයෙන් මිදී යා නො හෙනුයේ එහි ම රැඳින.

සක්දෙව්රජ මේ කතාව බුදුන්ට දන්වා “ස්වාමීනි! අපි ත් ඔවුන් සේ ම නුඹ වහන්සේගේ සස්නෙහි නිවන් දහම් පසක් කරනු සඳහා ආම්හ. අවසර ලදිම් නම් පැන විචාරනු කැමැත්තෙමි”යි කී ය. එ කල බුදුරජාණන් වහන්සේ “සක් දෙව්රජ! තට සැක වූ යම් ම පැනයක් මා අතින් විචාරව. මම ඒ කියමි” සර්වඥ ප්‍රවාරණයෙන් පැවරූ සේක.

එ කල සක්දෙව්රජ බුදුන් අතින් අවසර ලදින් ඉස්සා මච්ඡරියං යන පළමු වන පැනය ය. පියාප්පියං යන දෙවන පැනය ය ඡන්‍දො යන තුන් වන පැනය ය. විතක්කො යන සතර වන පැනය ය. පපඤ්චො යන පස් වන පැනය ය. සෝමනස්සං යන සවන පැනය ය. දෝමනස්සං යන සත් වන පැනය ය. උපෙක්ඛා යන අට වන පැනය ය. කාය සමාචාරො යන නව වන පැනය ය. වචීසමාචාරො යන දස වන පැනය ය. පරියේසනා යන එකොළොස්වන පැනය ය. ඉන්‍ද්‍රියසංවරො යන දොළොස් වන පැනය ය. අනේකධාතු යන තෙළෙස් වන පැනය ය. අච්චන්ත තිට්ඨා යන තුදුස් වන පැනය යි යන මේ තුදුස් පැනය විචාළේ ය. සක්දෙව් රජහු පැන විචාළ පරිදිත් බුදුන් විසඳූ පරිදිත් දිග්සඟියෙහි ශක්‍රප්‍රශ්න සතවිභාගයෙන් බලා දතයුතු.

ඉක්බිත්තෙන් ස්වාමිදරුවන් මේ ප්‍රශ්න ව්‍යාකරණය කොට අවසානයෙහි අසූදහසක් දෙවියෝ අමාමහ නිවන් දුටහ. සක්දෙව්රජ සෝවාන් මාර්ගඵලයට පැමිණියේ ය. මෙසේ ශ්‍රද්ධාසම්පන්න වූ ඒ සක්දෙව්රජ රහත් නො ව කුමක් නිසා සෝවාන් වී ද? යත්;

අනේපිඬු මහ සිටාණන් හා විශාඛාවන් හා දෙදෙන බුදුන්ට අග්‍ර වූ බොහෝ උපස්ථාන කෙටත්, තමන් සසරෙහි ලෝභ ඇති හෙයින් සෝවාන් ව තව සත් ජාතියෙක සසර ඇවිදිති. ඔවුන් සේ ම මේ සක්දෙව්රජ ද ඉතා භවරාගීය, ඒ කාරණයෙන් සෝවාන් ව මේ ජාතියෙහි තමාගේ ආයු පරිද්දෙන් ශක්‍රසම්පත් විඳ එයින් මිය දඹදිව සවාරයක් පිට පිට දීපච්චක්‍රවර්ති ව රජ කෙරෙයි. එයින් ගොස් චාතුර්මහාරාජික නම් දිව්‍යලෝකයෙහි ඉපැද මනුෂ්‍යගණනාවෙන් අනූලක්‍ෂයක් හවුරුදු දිව්‍යසම්පත් විඳ, එයින් නැගී තවුතිසා දිව්‍යභවනයෙහි ඉපැද තුන් කෙළ සැටලක්‍ෂයක් හවුරුදු දිව්‍ය සම්පත් විඳ, එයින් නැඟී යාම නම් දිව්‍යලෝකයෙහි ඉපැද තුදුස් කෙළ සැටලක්‍ෂයක් හවුරුදු දිව්‍යසම්පත් විඳ, එයින් නැඟී තුෂිතභවනයෙහි ඉපැද එහි සත්පනස්කෙළ සැටලක්‍ෂයක් හවුරුදු දිව්‍ය සම්පත් විඳ, එයින් නැඟී නිම්මාණරතී නම් දිව්‍යලෝකයෙහි ඉපැද එහි දෙසිය තිස්කෙළ සතළිස් ලක්‍ෂයක් හවුරුදු දිව්‍යසම්පත් විඳ, එයින් නැඟී පරනිර්මිත වශවර්ති නම් දිව්‍යලෝකයෙහි ඉපැද එහි නවසිය එක්විසිකෙළ සැටලක්‍ෂයක් හවුරුදු දිව්‍යසම්පත් විඳ,

සදිව්‍යලෝකයෙහි මෙසේ එක්දහස් දෙසිය අටවිසිකෙළ පනස් ලක්‍ෂයක් හවුරුදු මුළුල්ලෙහි පඤ්චකාමසුව අනුභව කොට එහි දී කාම විරාගය කොට ධ්‍යාන උපදවා පළමුවන බ්‍රහ්මපාරිෂද්‍ය නම් බඹලොව ඉපැද අසඞ්ඛ්‍ය කල්පයක්හුගේ තුන්වන භාගයක් සුව විඳ, එයින් නැඟී බ්‍රහ්මපුරෝහිත නම් බඹලොව ඉපැද එහි අර්ධ කල්පයක් සුවවිඳ, එයින් නැඟී මහාබ්‍රහ්ම නම් බඹලොව ඉපැද කපක් සුවවිඳ, එයින් නැඟී පරිත්තාභ නම් බඹලොව ඉපැද එහි මහ කප් දෙකක් සුව විඳ, එයින් නැඟී අප්‍රමාණාහ නම් බඹලොව ඉපැද එහි සතර කපක් සුව විඳ එයින් නැඟී ආභස්සර නම් බඹලොව ඉපැද එහි අටකපක් සුව විඳ එයින් නැඟී පරිත්තශුභ නම් බඹලොව ඉපැද එහි සොළොස් කපක් සුව විඳ. එයින් නැඟී අප්‍රමාණ ශුභ නම් බඹලොව ඉපැද එහි දෙතිස් කපක් සුවවිඳ එයින් නැඟී ශුභකීර්ණක නම් බඹලොව ඉපැද එහි සූසැටකපක් සුව විඳ, එයින් නැඟී වෙහප්පල නම් බඹලොව ඉපැද එහි පන්සියක් කප් සුව විඳ,

එහි දී අනාගාමී ව එයින් නැඟී ශුද්ධාවාසයෙහි අවිහ නම් බඹලොව ඉපැද දහසක් කප් සුව විඳ, එයින් නැඟි අතප්ප නම් බඹලොව ඉපැද දෙදහසක් කප් සුව විඳ, එයින් නැගී සුදස්ස නම් බඹලොව ඉපැද එහි සාරදහසක් කප් සුව විඳ, එයින් නැඟී සුදස්සි නම් බඹලොව ඉපැද එහි අටදහසක් කප් සුව විඳ, එයින් නැඟී අකනිෂ්ඨක නම් බඹලොව ඉපැද එහි සොළොස් දහසක් කප් ධ්‍යාන සුව විඳ, මෙසේ එක්තිස්දහස් සසිය විසිකපක් ගියකල එයින් මතු අනාගතයෙහි රහත් ව අමාමහ නිවන් දක්නේ ය යි දතයුතු.

මෙසේ සෝවාන් ව වසන්නා වූ සක්දෙව් රජ එ කෙණෙහි ම පඤ්චශිඛ දිව්‍යපුත්‍රයා කැඳවා “යහළු පඤ්චශිඛ ය! මෙසේ වූ නිවන් සුවයක් තා නිසා ලදිමි බුදුන් අතින් මට අවසර ඉල්වා දී මේ සා වැඩක් කෙළෙහි ය, අද පටන් තෝ මට ගුරු තනතුරෙහි සිට”යි කියා “මාගේ අර්ථ සිද්ධ වූවා සේ ම, තාගේ ද අභිමතාර්ථය සිද්ධ කොට සුරියවච්චසා නම් දිව්‍යස්ත්‍රිය පාවා දෙමි”යි නිලකොට “මාගේ මේ දෙදෙව්ලොව ගන්‍ධර්ව සේනාවට අද පටන් තෝ රජව”යි ඔහු ගන්‍ධර්වයන්ට රජකොට බුදුන් වැඳ තමාගේ දිව්‍යසේනාව ගෙන දික්කළ අතක් වක් නො කරන ඇසිල්ලෙහි ගොසින් තමාගේ ශක්‍ර භවනයෙහි ම පෙනී ගිය.

මෙසේ එ තැන් පටන් බුදුන් කෙරෙහි අතිප්‍රසන්න වූ ශක්‍ර දේවේන්‍ද්‍රයා අසූදහසක් දෙවියන් හා සමග අප්‍රමාණ ව දිව්‍යරාජ පූජා කෙළේ ය. එ තුවක් කල් මුළුල්ලෙහි ස්වාමිදරුවාණන් නමට අප්‍රමාණ වූ ප්‍රතිපත්ති පූජා කෙළේ ය. ස්වාමිදරුවන්ගේ ප්‍රතිසන්‍ධි පූජාවෙහි පටන් පරිනිර්වාණ පූජාව දක්වා මේ අශීතිවර්ෂය මුළුල්ලෙහි තමාගේ ශක්‍රසම්පත්තියෙහි ලෝභය හැර ඔබගේ දර්ශන සම්පත්තියෙහි ලෝභය කොට පක්‍ෂපාත වූ අභියුක්තකයකු සේ ස්වාමිදරුවන් සමීපයෙහි ඡායාවක් සේ වාසයකොට අප්‍රමාණ වූ සප්පාය වූ අත්පා මෙහෙයෙන් පූජා කෙළේ ය. මෙසේ ශක්‍ර දේවේන්‍ද්‍රයන් අතින් පවා මහත් වූ පූජා ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මට ද, සියලු සතුන්ට ද, මවුපිය ගුරු වූ, දෙවි වූ, බඹ වූ, මාගේ ම ස්වාමිදරු වූ, තිලෝගුරු බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් ම කියන ලදි.

පූජාවිසෙසං සහපච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථො,

අත්‍ථානු රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං- යි

මේ පූජාවලියෙහි අප බුදුන් සක්දෙව් රජහුගෙන් ලද

දිව්‍යරාජ පූජා කථා නම් වූ දෙවිසි වන පරිච්ඡේදය නිමි.

23. යමක ප්‍රාතිහාර්‍ය්‍ය පූජා කථා

තව ද: අප බුදුන් ගණ්ඩම්බ නම් වෘක්‍ෂමූලයෙහි දී ලද යමක ප්‍රාතිහාර්‍ය්‍ය පූජා නම් කවර? යත්; එහි මේ පිළිවෙල කථාව සත්පුරුෂයන් විසින් මෙසේ අසා දතයුතු.

මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මුළුලොවට අමාවැසි වස්වන්නා සේ, දහම් වහරේ වස්වමින් රජගහා නුවර වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි එ නුවර ධනසිටාණෝ පරිවාර ජනයන් ඇරගෙන ගඞ්ගාවෙහි ජලක්‍රීඩා කරන්නාහු දියෙහි යන මහ දියකළයක් සා රත්සඳුන් හරයක් දැක, එයින් පාත්‍රයක් ලියවා සහල්ලෙක තම්බා දොර මිදුලෙහි හුණදඬු සිටුවා එහි උඩ සැටරියනෙක පාත්‍රය එල්වා “මේ ලෝකයෙහි රහත් කෙනෙක් ඇත් නම් ආකාශයෙන් වැඩ මාගේ පාත්‍රය පිළිගනිත්ව යි එසේ පිළිගනිත් නම් ඔහු වඳිමි, පුදමි, සත්කාර කෙරෙමි, ඔහු ම මට දෙවියෝ ය”යි කියා මුළු නුවර අසූදහසක් නියම් ගම්වල හා තුන්සියක් යොදුන් අගු-මගධ දෙරට සැලකළහ.

ෂට් ශාස්තෘෘන්ගේ උත්පත්ති කථා

එ කල දඹදිව පූරණ කාශ්‍යප, මක්ඛලි ගෝශාල, අජිතකෙසකම්බල, කකුධ කාත්‍යායන, සඤ්ජය බෙල්ලට්ඨිපුත්‍ර, නිගණ්ඨනාථපුත්‍ර ය යි පන්සිය පන්සිය පිරිස් ගෙන අපි බුදුම්හ, අපි බුදුම්හ යි ප්‍රතිඥා කොට තමන් තමන් පෙර “බුදුන් නො දකුම්හව”යි බොරු දිවරපුවා වූ අකුශලයෙන් බුදුන් දැක්ක නොහි ලොව ගසා කා අඥාන වූ සත්ත්‍වයන් බදාගෙන ඇවිදුනා වූ සොරහු සදෙනෙක් වූහ. ඔවුන් සොර වූ පරිදි කවර? යත්;

ඒ පූරණ කාශ්‍යපයා නම් දඹදිව එක්තරා එක් නවානූවක් මෙල්ලාකවරුන් ඇති කෙළෙඹි පුත්‍රයාන කෙනකුන්ගේ කෙල්ලක කුසින් කොල්ලක්හට දාව උපන. සිටාණෝ “නුඹගේ අසුවල් මිඩි පුතකු ලදහ”යි කී බස් අසා සතුටු ව “මාගේ නවානූවක් මෙල්ලාකවරුන් ඇති කුලයෙහි සියය පුරා උපන් හෙයින් පූරණය”යි කී ය. එ බස ගෙන හෙතෙම පූරණ නම් විය. තබන ලද නමින් කාශ්‍යප නම් විය. එසේ හෙයින් පූරණ කාශ්‍යප ය යි මෙ නමින් ප්‍රසිද්ධ වී ය යි දතයුතු.

ඔහු බුදුහු පරිදි කවර? යත්; ස්වාමිදරුවෝ ඔහු සියය පුරා උපන් හෙයිනුත්, මගුල්වහල මෙල්ලාකියා පුතු හෙයිනුත් ඔහු වෙහෙසා මෙහෙ නො ගන්නාහ. හෙතෙම කර්මාන්තයක් නැතිව ස්වච්ඡන්‍දික ව වැඩී වර්ධනය වූ කාලයෙහි දු ස්වාමිදරුවන්ට වැඩක් නො කෙරෙයි. දවසෙක ඒ ස්වාමිදරුවානෝ මොහු ගෙන්වා මෝහට ගැසිනි මෙහෙයක් නැති ව සුවලද මෙහෙයක් කෙරෙමි යි සිතා “තා මාගේ මේ වහසල්දොරකඩ රකුව”යි නියෝග කළහ. හේ තෙම් කීප දවසක් වහසල් දොරකඩ හිඳ ඔබිනොබ පෙර සේ ඇවිද පියන්නට කෙළි මොළ කම් කොට ස්වච්ඡන්‍දික ව දවස් යවා පියන්නට බැරිබවු දැන “මොවුන්ට වැඩක් ම නො කෙරෙමි යි දුරු රටකට මා පලාගිය මැනැවැ”යි සිතා දවසෙක දෙස් පලා ගිය.

එ කල ඔහු මහ වනමැදකට පැමිණි කල වල්සොරු ඔහු කසි උදුරා ගෙන මරන්නට අල්වා ගත්හ. හෙතෙම තමා ඇඟ බල ඇති හෙයින් අත ගළවා ගෙන නග්නයෙන් ම ගැළවී දිව මහවනය පීරාගෙන එක්තරා එක් දනව්වකට ගොස් ගම්මැදෙක කර බාගෙන සිටියේ ය. ගම්වැසියෝ ඔහු දැක තෙපි කවුරුදැ යි විචාළහ. මේ තෙන මම අනිකක් කීම් නම් මට රක්‍ෂා නැතැ යි සිතා මාගේ බඩ සියලු ශාස්ත්‍රයෙන් සම්පූර්ණ වූ හෙයින් මට පූරණ ය යි කියති. ගෝත්‍ර වශයෙන් බ්‍රාහ්මණ වංශයෙහි උපන් හෙයින් කාශ්‍යප නමි. දැන් මම රහත්විමි. පූරණ කාශ්‍යප ඛුද්දු නම් මම වේ දැ”යි කී ය. එ වේලෙහි ගම්වැසියෝ ඔහු සෙූ බවු දැක අනේකප්‍රකාර වූ වස්ත්‍ර ඔහු කරාගෙන ගොස් “හිමි මේ හඳුව”යි කියති. හෙතෙම “පිළිහැන්දෙම් නම් සත්ත්‍වයෝ මා කෙරේ සරු නො කෙරෙති”යි සිතා “සත්ත්‍වයෙනි! පිළි හැඳීම් නම් ලජ්ජා වැසීමය, ලජ්ජා නම් පාප ධර්මයෙක ඒ පාපධර්මය සැඟවීම් රහතන්ට සුදුසු නො වෙයි. එසේ හෙයින් අපි පිළි නො හඳුම්හ”යි කියා පිළිගෙන නො හඳනේ ය. එ කල මනුෂ්‍යයෝ ඔහු කෙරේ ඉතා පැහැද වඳිති, පුදති, සත්කාර කෙරෙති. බොහෝ ඛාද්‍යභෝජ්‍ය ගෙනෙති. එ කල පන්සියක් දෙන ඔහු හා එක් ව ලාභ ය නිසා පිළිගලවා හැර ඔහු කරා තපසට වන්හ. එතැන් පටන් හෙතෙම පූරණ කාශ්‍යප නම් බුදු කෙනෙකැ යි දඹදිව ප්‍රසිද්ධ විය.

තව ද: මක්ඛලී ගෝශාලයාගේ ද උත්පත්තිය කවර? යත්; එයි දු දඹදිව එක්තරා එක් කෙළෙඹි පුත්‍රයාණ කෙනකුන්ගේ ගෙයි දාසයෙක, හේ තෙම නමින් මක්ඛලි නම් විය. ස්වාමිදරුවන්ගෙන් උදහස් අසා ගොස් අනුන්ගේ ගෝශාලයෙක, වැදහොත් දවස් ඔහු වැදූ හෙයින් ගෝශාල නම් ලද. හෙතෙම එක් දවසෙක ස්වාමිදරුවාණන් පස්සෙහි තෙල් කළයක් හිස තබාගෙන යෙයි. එ කල ස්වාමිදරුවා දිය මඩ මිශ්‍ර වූ කළල් බිමක් දැක “දරුව! සිහි ඇති වව. තෙල්කළය රක්ව”යි කිය කියා යන කල්හි හෙතෙම අලස ව ඔබිනොබ බලබලා යනුයේ කණුයෙක පැකිළ අනික් පය ඉදිරියට දමා එ පය මඩෙහි ලා ගොස් උඩබලා හී තෙල්කළය බිඳ ස්වාමිදරුවා ආපස්ස බලන ඇසිල්ලෙහි පැනනැඟී මරති යන භයින් වලට දිවපිය. එ වේලෙහි ස්වාමිදරුවෝ ඔහු දිවන්නහු දැක පසු පස්සෙහි ලුහුබඳවා දිව පිටිමුල ගත. හෙතෙම පිළිය ගළවා ස්වාමිදරුවා අතට හැර උපන් වන ම ගැළවී දිව වල් පිහිරා දුර දනව්වකට ගොස් එසේ ම වඤ්චා කොට මක්ඛලි ගෝශාල නම් රහතුම්හ යි බොහෝ අඥානයන් පහදවා පන්සියක් පිරිස් ඇති කොට ඒ ඒ තැන්හි ප්‍රසිද්ධ විය.

අජිතකේශකම්බලයාගේ ද උත්පත්තිය කවර? යත්; හේ තෙම කුලදරු ය. බොහෝ දෙනා නය එලවන හෙයින් පසිඳගත නොහී තමාගේ රට හැර පසල් දනව්වකට ගොස් රක්‍ෂාවක් නැති හෙයින් තපස් කෙරෙමි යි සිතා සියලු වස්ත්‍රජාතියෙන් කෙස්මුවා පළස් නම් හීන වූ වස්ත්‍ර ජාතියෙක, හීනයන්ට ම තිබී ආ දෙයෙක. හෙතෙම කෙස්මුවා පළසක් ධරා ඉස මුඩුකොට අත කර වළලු ලා අජිත කේශකම්බල නම් රහතුම්හ යි ප්‍රතිඥා කොට “මච්ඡමාංස මැරුව නටත් පව් සරි ය. කෑවානටත් පව් සරි ය. ගස කැපුවාහු, වැල කැපුවාහු, මිනී මැරුවාහු නම් වෙති. අත්ත කැපුවාහු අත කැපුවාහු නම් වෙති” යනාදි දෘෂ්ටිගෙන බොහෝ අඥානයන් පහදවා පන්සියයක් නිවටුන් ඇති කොට එයිදු ඒ ඒ තන්හි ප්‍රසිද්ධ වි ය.

කකුධ කාත්‍යායනයාගේ ද උත්පත්තිය කවර? යත්; එයි දු කුලපුත්‍ර ය, පියන් නැති ව වැන්දඹු එකකු කුසින් උපන. මහ දුඃඛිත හෙයින් ගෙයක් දොරක් නැති හෙයින් ඔහු කුඹුක්ගසක් මුල වදා හෙළා යන ලදු විය. එක්තරා එක් බ්‍රාහ්මණයෙක් ඔහු දැක ගෙන ගොස් කුඹුක්මුල දී උපන් හෙයින් කකුධ නම් ලා ව්‍යවහාර නාමය හා සමග කකුධ කාත්‍යායන යයි නම් තබා වැඩී ය. හේ තෙම බමුණා මළ කල අනික් රක්‍ෂාවක් නැති හෙයින් තෙමේ ම තපසට වැද මිථ්‍යාදෘෂ්ටි ගෙන “හැල් දිය නම් ප්‍රාණ ය යි හැල්පැන් පූවාහු බින්‍දුගණනාවෙන් ප්‍රාණඝාත කළාහු නම් වෙති”යි දෘෂ්ටි ගෙන හැල් පැනින් අතපයත් නො ශෝධයි. හුණුදියෙන් හෝ හුළුකැනින් හෝ අත ශෝධයි. ඇළක් දිය වළක් හොයක් ගඟක් පැන පය පැන් හා ගෙන, එතෙර ගියේ නම් “බොහෝ ප්‍රාණීන් නසා ගියෙමි. බොහෝ දනහට ගැහැට කොට පීමි. මාගේ සිල් බිඳී ගියේ ය”යි හඬ හඬා “දඬුවම් කෙරෙමි”යි එතෙනට වැලි ගොඩක් රැස්කොට එතෙන දී නැවත සිල් ඉටාගෙන යෙයි. ඒ දුටු මනුෂ්‍යයෝ ද ඔහු කෙරේ පැහැද රහත්ය යි බොහෝ සත්කාර කෙරෙති. එසේ හෙයින් එයි දු පන්සියයක් දෙනා ඇති කොට දඹදිව ප්‍රසිද්ධ වි ය.

සඤ්ජය බෙල්ලට්ඨිපුත්‍රයාගේ ද උත්පත්තිය කවර? යත්; එයි දු නමින් සඤ්ජය නම් වී ය. බෙල් ඇටක් බඳු වූ ඉසක් ඇති හෙයින් බෙල්ලට්ඨි නම් වූ අනුන්ගේ දාසියක්හුගේ ම පුත්‍රයෙක. එයි දු ස්වාමිදරුවන් විසින් නිදහස් කරන ලදුව නොඑක් ශාස්ත්‍ර ඉගෙන මහනුවණ ඇති ව තර්කවාද දැන තපසට වැද “මෙලෝ නැත, පරලෝ නැත, කම් නැත, කම්පල නැත, මවු නැත, පියෝ නැතැ”යි දෘෂ්ටි ගෙන අපාදකයෝ මළ කල අපාදක ව ම උපදිති. ද්විපාදකයෝ මළ කල ද්විපාදකව ම උපදිති. චතුෂ්පාදකයෝ චතුෂ්පාදක ව ම උපදිති. බහුප්පාදකයෝ බහුප්පාදක ව ම උපදිති. හීනයෝ හීන ව ම උපදිති. උත්තමයේ උත්තම ව ම උපදිති. දිව්‍යයෝ දිව්‍ය ව ම උපදිති. මනුෂ්‍යයෝ මනුෂ්‍ය ව ම උපදිති. යනාදි වශයෙන් ලෝක වාසීන්ට මිත්‍යාදෘෂ්ටි කියයි. ඒ අසා සමහර කෙනෙක් ගිවිස ඕහට ද සත්කාර කෙරෙති. හේ ද පන්සියයක් රහතුනැ යි නිවටුන් ඇති කොට රහතිමි යි කියා වඤ්චාවෙන් ඇවිදි.

නිගණ්ඨ නාථපුත්‍රයාගේ ද උත්පත්තිය කවර? යත්; එයි දු එක්තරා එක් නාථ නම් ගොවියකුගේ පුත්‍රෙයක. එසේ හෙයින් නාථපුත්‍ර නම් වි ය. හේ ද කෛරාටික ඥාන ලදින් නක්‍ෂත්‍ර-ගණිත නෛමත්කාදි නොයෙක් පරශාස්ත්‍ර ඉගෙන පන්සියක් අතවැස්සන් රැස්කොට මම ද රහතිමි යි තමා කෙරෙහි නැති ගුණ කියා මාගේ ලෙහි කෙලෙස් ගැටෙක් නැත. මට නො දැනෙන ශාස්ත්‍ර ගැටයෙකු දු නැත. එසේ හෙයින් නිගණ්ඨි මි යි කියයි. එ කල ඔහුට නිග්ගණ්ඨනාථපුත්‍ර නම් බුද්දු ය යි අඥානයෝ පැහැදියහ. යම් සැකයක් ඇති කෙනෙක් තමා කරා ගොසින් විචාළෝ නම් හේ තෙම තමාට නො දැනෙන හෙයින් කියාගත නො හී පළමු කොට ඔවුන් හා වදාරොපනය කොට සැක විචාරා ගැන්මට අවකාශ නො දෙනුයේ වඤ්චිත වූ ඥානයෙන් දඹදිව ප්‍රසිද්ධ වි ය.

ඉක්බිත්තෙන් ඒ රජගහා නුවර සිටාණන්ගේ පවත් අසා “අපි බුදුම්හ, අපි බුදුම්හ”යි ප්‍රතිඥා කොට ලෝවැස්සන් වඤ්චා කොට ඇවිදුනා වූ ඔහු සදෙන ම එ නුවරට අවුත්, පස් දවසක් මුළුල්ලෙහි සිටාණන් පිරිවරා ගෙන “සිටාණෙනි! මේ පාත්‍රය අපට දෙව, අපට දෙව, අපි බුදුම්හ, රහතුම්හ, මේ පාත්‍රයට අපි අපි ම සුදුස්සම්හ”යි ඉල්වුවාහු ය. සිටාණෝ ද ඒ පස්දා මුළුල්ලෙහි ම කැමැති කැමැති කෙනකුන් ආකාශයෙන් අවුත් ගත මැනැව නිකම් ආ කෙනකුන්ට නො දෙම් ම යි නො ගිවිස්සහ.

නිගණ්ඨනාථ පුත්‍රයා පාත්‍රය ගන්ට තැත්කිරීම

එ කල නිගණ්ඨ නාථපුත්‍ර නො එක් උත්සාහ කොට පාත්‍රය ලැබගත නො හී තමා අතුරෙහි “කිමෙක් දෝ මෙ තෙක් දවස් මායම් බලයෙන් භවත් ගෞතමයන් හා සරිගස්වා ඇවිද්දෙමි. ඔවුන්ගේ ශ්‍රාවකයෝ ආකාශයෙන් අවුත් තෙලෙ පාත්‍ර ය ගණිති. එ කල අප හැම ජරපත් ශෘගාලයන් කොටත් මනුෂ්‍යයෝ නො සිතති. මෙ තෙන පැමිණියේ අපට ඉතා ම හානියෙක. බුදුකම් කොට ගැන්ම එන දවස ඉතා ම උගහට වන සැටි ය. අපගේ සෘද්ධියෙන් ප්‍රාතිහාර්‍ය්‍යයෙක් ආකාශයෙන් ගමනෙක් රහත්බවෙක් බුදුබවෙක් අහසට පොළොව සේ දුර එසේ ද වුවත් සිටාණන් මූණ වැලි ගැසුවා සේ මායම් පෙළහරෙකින් සඳුන් පාත්‍ර ය ගනිමි”යි සිතා තමාගේ අතවැසියන් කැඳවා “යව, සිටාණන් කරා ගොස් අපගේ බුද්දු ලාභයක් නිසා තමන්ගේ සැඟවී තුබූ සෘද්ධිගුණ ය නො දක්වන්නාහු ය. සැබවින් සැදෑ ඇතියා නම් මේ පාත්‍රය අපගේ බුදුන්ට ම දෙව”යි කියා පාත්‍රය සිටාණන් අතින් ගෙනෙව”යි යැවී ය.

එ කල ඒ අතවැසියෝ ද සිටාණන් කරා ගොස් ඔහු කී පරිද්දෙන් ම කියා පාත්‍රය ඉල්ලන්නාහු, සිටාණෝ ද “තොපගේ බුදුන් සරු වුවහොතින් ආකාශයෙන් ම අවුත් පාත්‍රය ගෙන යන්ට කියව”යි කියා නුදුන්නාහු ම ය. එ කල නිගණ්ඨනාථපුත්‍ර එ පවත් අසා අතවැසියන්ට “එසේ වී නම් දැන් මා ගොස් ‘ආකාශයට නැඟී දැන් දක් පාත්‍රය ගනිමි’යි අභියෝගයක් කළ කල තෙපි හැමදෙන මා වළක්ව”යි උගන්වාගෙන සිටාණන්ගේ ගෙට ගොස් අප වැනි බුදුන්ගේ පෙළහර බලා තොප වැනියන් සත්කාර කරනු විස්මය නො වෙති. මේ පාත්‍රය අපට ම තරම, අපට ම දෙව”යි ඉල්වීය.

එ වේලෙහි දු සිටාණෝ “නුඹ සබා බුදුකෙනකුන් වුවෝතින් අහසට නැඟී පාත්‍රයක් ගත මැනැව. මාත් උපාසක කොට ගත මැනැව. මායමකින් මා නො වෙහෙසුව මැනැව. එසේ නො දෙමි”යි කීහ. එ වේලෙහි නිගණ්ඨ නාථපුත්‍ර තෙම අතවැසියන් මුහුණ බලා සොර ඉඟියක් ලා “වැලි සිටාණෙනි! අහසට නැඟෙම් දැ”යි කී ය. නැංග මැනැවයි කීහ. තවත් නැඟෙම් ම දැ යි කී ය. තවත් නැංග මනා ම ය යි කීහ. බුදු වූ දවස් පටන් මාගේ රහත් ගුණය කිසිවක්හට නො පෑයෙමි. නැඟෙම් ම දැ යි තුන්වනුව ද කී ය. බුදුවන්නේ නම් බොහෝ දෙනාට පෙළහර පෑ, බොහෝ දෙනාට වැඩ කරන නිසා ම ය. දැනුදු මම වැඩ නිසා පෙළහර පෑව මැනැවැ යි සිටාණෝ තුන්වනුව ත් කීහ.

එ වේලෙහි නිගණ්ඨනාථපුත්‍ර එක් අතක් එක් පයක් අහසට නඟා අහසට පැන නැගෙන අභියෝගයක් ශුනකයෙකු කිලි පෙළුවා සේ කෙළේ ය. එ වේලෙහි ඔහුගේ අතවැසියෝ “හිමි! නුඹ වැනි බුදු කෙනකුන් ලාභයක් නිසා පෙළහර කරනු නො යෙදෙයි. අහසට නො නැංග මැනැව. නො නැංග මැනැව. පෙළහර නො පෑව මැනැව. නො පෑව මැනැව. අනිස, ඒ පාත්‍රය නො කැමැත්තේ ය. නො කැමැත්තේ ය යි කියා ඔහු අත පය ඇද බිම හෙළූහ. හෙතෙම බිම හි අත පය වැලි පිස “කුමක් බලව සිටාණෙනි, මේ අතවැසියෝ මා අහසට නැංග නො දෙති. ඔවුන් කියන්නෙත් කාරණ ම ය. අප වැනි රහතුන්ට වෙහෙස නො දී පාත්‍රය දී පියව” යි කී ය. එ වේලෙහි දු සිටාණෝ “තෙල මායමින් මට කම් නැත. අහසට නැඟි පාත්‍රය ගත නො හෙතෝතින් මට ද වෙහෙස නො දී ආපස්සෙහි ගිය මැනැව”යි කීහ. එ කල නිගණ්ඨ නාථපුත්‍ර ඒ මායමිනුත් පාත්‍රය නො ලදින් සුසුම් ලලා ආපස්සේ ගියේ ය.

පිණ්ඩොල භාරද්වාජ තෙරුන් පෙළහර පෑම

මෙසේ තීර්ථකයන් ඒ පාත්‍රය නිසා සිටාණන් හා බල පොර ගන්නා සේ කරන්නා වූ උත්සාහයෙන් සදවසෙක් පලා ගිය. සත්වන දවස් මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු වූ ගෞතම ගෝත්‍රයෙහි උපන්නා වූ බුදුරජාණන්ගේ ඖරසපුත්‍ර වූ ආයුෂ්මත් වූ මුගලන් මහතෙරුන් වහන්සේ හා ආයුෂ්මත් වූ පිණ්ඩොල භාරද්වාජ මහතෙරුන් වහන්සේ හා දෙදෙනා වහන්සේ සිංහසමූහයෙකින් පිටත් වූ සිංහපොව්වන් දෙදෙනකු සේ බුදුන් වසන වේළුවනාරාමයෙන් පිටත් ව රජගහ නුවරට සිඟා වඩනා සේක් එක්තරා එක් ගලතලක් පිට වැඩසිට සිවුරු වළඳනා සේක.

එ වේලෙහි මඟ දර පැන් සොයා ඇවිදුනා වූ ස්ත්‍රී පුරුෂයෝ “පෙර මෙ නුවර ‘අපි රහතුම්හ, අපි රහතුම්හ’ යි කියා ඇවිදුනෝ බෙහෙව. ලොව රහතුන් නැති බවු සැක නැති ව ම දතුම්හ. අසුවල් සිටාණන්ගේ දොර සඳුන් පාත්‍රයක් ආකාශයෙහි තිබෙන්නේ අදට සත් දවස ය. අහසින් ගොස් ගතහෙන්නා වූ එකෙකුත් නැත”යි කිය කියා සාමාන්‍යයෙන් තපස් කරන්නවුන්ට දොඩ දොඩා බැණ බැණ යන්නාහු ය.

එ වේලෙහි මුගලන් තෙරුන් වහන්සේ ඔවුන් කියන බස් අසා පිණ්ඩොල භාරද්වාජ මහතෙරුන් වහන්සේගේ මුහුණ බලා “ඇවැත්නි! තෙලෙ සත්ත්‍වයන් දොඩාගෙන යන බස් ඇසූ ද, ඔහු බුදුසස්නට දඟලාලා බැණගෙන යන්නාහ. අප වැනියන් තොප වැනියන් ඇසිය දී අපගේ බුදුන්ගේ ශාසනයට සත්ත්‍වයන් අනාදර බිණීම ද අප වැනියන් තොප වැනියන් අසා ඉවසීම ද සුදුස්සෙක් නො වෙයි. යව, තෙපි ආකාශයෙන් ගොස් සිටාණන්ට පෙළහර පෑ ඒ පාත්‍රය ගෙන අප බුදුන්ගේ හා ඔබ දරුවන්ගේ හා බල ලෝක වාසීන්ට දක්වා පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි පවත්නා බුදුසස්නෙහි තුඩ තුඩ ස්තුති කරවාපියන පරිද්දෙන් ශාසනබලයක් පෑ බලව”යි වදාළ සේක.

එ බසට පිණ්ඩොල භාරද්වාජ මහතෙරුන් වහන්සේ “ස්වාමීනි! නුඹ වහන්සේ බුදුන් විසින් සියලු ශ්‍රාවකසංඝයා මධ්‍යයෙහි “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ඉද්ධිමන්තානං යදිදං මොග්ගල්ලානො”යි වදාරා මේ සා බුදුසස්නෙහි සෘද්ධිමතුන් කෙරෙහි ම අග්‍රකොට සිටුවන ලද සේක. එසේ හෙයින් මේ ප්‍රාතිහාර්‍ය්‍යයක් නිසා ලෝකවාසීන් බුද්ධශාසනයට කියන්නා වූ අනාදරය නුඹ වහන්සේට ම බණන්නා සේ නොවන නිසාද? අප සිටිනා ස්ථානාන්තරයක් නො වන හෙයින් ඒ පෙළහරින් අපට කම් කිම් ද, නුඹවහන්සේ ම ගොස් ඒ පාත්‍රය ගෙන බුදුසස්නෙහි බල දැක්වුව මැනැවැ”යි කී සේක.

එ බසට මුගලන් මහතෙරුන් වහන්සේ “නන්‍දොපනන්‍ද නම් දිව්‍යනාගරාජයා අප බුදුන්ට කිපී එක්ලක්‍ෂ අටසැට දහසක් යොදුන් මහමෙර සක් දරණපටකින් වෙළා ගෙන එණගබින් දෙව්ලෝ වසා වැදහොත් දවස් අප තුදුස් දරණපටකින් ඔහු වෙළා ඒ සා එණගබක් මත්තෙහි අපගේ එණගබින් වසාගෙන අප පෙළහර පෑ දවස් අපගේ බල නුදුටු කෙනෙක් නැත. තව ද අහිච්ඡත්ත නම් නාගරාජයා දැමූ දා සබ්‍රම්සරහු අපගේ පෙළහර දුටහ. සක්දෙව් රජහු වැනියන්ගේ දහසක් යොදුන් විජයත් නම් මහපාය අත් බමරක් සේ භ්‍රමණය කරවා සක්දෙව් රජහු අමා පෙළහර පෑ දවස් දෙවියන්ගෙන් අප බල නුදුටුවෝ නැත. තවද: සෘද්ධිමතුන් කෙරෙහි අග්‍ර වූ ස්ථානාන්තර ලද හෙයින් සුවවහස් නැඟූ මුහුණ ජයගෙන සිටි යෝධයකු මතු තබා බල දැක්වීමෙහි විස්මය නැත්තා සේ, අප වැනියන් පෙළහර පෑමෙහි විස්මය කිම්දැ”යි සිතා “ඇවැත්නි! තව තොප බල දුටුවෝ නැත. තෙපි ම පෙළහර පෑ සිටාණන් දමා අප බුදුන් දරුවන්ගේ බල පාව”යි වදාළ සේක.

එ වේලෙහි භාරද්වාජ මහතෙරුන් වහන්සේ “මහතෙරුන් වදාළේ කාරණම ය. වැළි අපි ම පෙළහරක් පෑ ඒ පාත්‍රය ගණුම්හ”යි සිතා මුගලන් ස්වාමීන් යවා තමන් වහන්සේ සිටියා වූ එම ගලතල අයමින් විතරින් තුන්ගවු සිසාරා නව ගවු පමණ මහත් කොට මවා ඒ සා ගලතල ශ්‍රීපාදයෙහි ඇඟිලි අගින් අවුලාගෙන ආකාශයට පැනනැඟී මරවැඩි පෙත්තක් සේ ගෙන ගොස් ඒ සා මහත් රජගහ නුවර සිසාරා යුගන්‍ධර සාගරය සිසාරා ධාවනය කරන මහාජවනහංස රාජයක්හු සේ සත් අසුරුසනක් ඇතුළත සත්වාරයක් ආවර්තින නම් පෙළහරක් පෑ අන්තවාරයෙහි නගරාම්බරයෙහි සැළක් පැන් පියනකින් වැසුවා සේ තුන්ගවු පමණ ඒ සා නුවර වසාගෙන තමන් වහන්සේ නො පෙනී සිට සියලු මුළු නුවර වාසීන් සැඩපවන් ගත් මහවනයක් සේ වෙවුලා නැගී උපන් මරණ භයින් සිහි එළවා ගත නොහී, අතුල් ඉසට පාමින්, කුලු ආදියෙන් මුවාවෙමින්, ශංකිත වූ කල්හි වලාගබෙකින් පෙණුනු පුන්සඳක් සේ තමන් වහන්සේ පෙනී වදාළ සේක.

එ වේලෙහි සත්ත්‍වයෝ මහ තෙරුන් වහන්සේ දැක “කොල! මේ අපට උපන්නේ සබා වූ භයෙක් නො වෙයි. අප මහ තෙරුන් කළා වූ පෙළහරෙක් වන, මෙ විට දිවි ලදුම්හ”යි කිය කියා දොහොත් මුදුන් දී සිට “මුළු ලොවට අභය දුන් බුදුරජාණන්ගේ අනුජාත වූ පුතණුවන් වහන්ස! අපට නුඹවහන්සේ ද අභයදාන දුන මැනව. තෙලෙ ගල නුඹවහන්සේගේ පයින් ගැළවී ගියේ නම් අප හැමදෙනාගේ දිවි තිබෙති යි නො සිතුව මැනැවැ, තෙලෙ ගල අහසින් ඉවත් කොට වදාළ මැනැව”යි යාච්ඤා කළ කල ගල පයින් පහකොට පෙර තුබූ ස්ථානයෙහි ම පිහිටුවා තමන් වහන්සේ ආකාශයෙන් සිටාණන්ගේ මිදුලෙහි අහස්කුස සරාගිරි මඬලක් සේ දිලිහි දිලිහී වැඩසිටි සේක.

එ වේලෙහි සිටාණෝ මහ තෙරුන් වහන්සේ දැක අඹුදරුවන් හා සමඟ මිදුල් මැද වැඳ පෙරළී “එසේ ද ස්වාමිදරුවාණෙනි! මේ පෙළහර ගැත්තවූ නිසා ම කොට වදාළ පෙළහරෙක් ද, ගැති මේ ලෝකයෙහි වඤ්චාවෙන් ඇවිදිනා සොර බුදුන් සදෙනාගේ තරමුත් දත, නුඹ බුදුන්ගෙත් ඔබ දරුවන්ගෙත් විශේෂයත් දත, ගැත්තවුගේ මිදුල නුඹගේ ශ්‍රිපාද නමැති පියුම් දෙකින් සරහා වදාළ මැනව, අහසින් බිමට බැස වදාළ මැනැවැ”යි ආරාධනා කළහ. එ වේලෙහි මහ තෙරුන් වහන්සේ ආකාශයෙන් බැස සිටාණන්ගේ මිදුල් මැද කප්රුකක් සේ වැඩසිටි සේක.

එවේලෙහි සිටාණෝ මහතෙරුන් වැඳ ගෙට වඩාගෙන ගොස් උතුම් වූ ආසනයෙක හිඳුවා මහ තෙරුන් පා දොවා සුවඳ තෙල් ගල්වා ආකාශයෙහි තුබූ සඳුන් පාත්‍රය බාගෙන පාත්‍රය ශෝධා සුවඳ තෙලින් පිරිමැද ගිතෙල් මී වෙඬරු ශර්කරායෙන් පුරා පාත්‍රය මහ තෙරුන් වහන්සේට පිළිගන්වා “ස්වාමීනි! අද පටන් තුණුරුවන්ට කුලගැති වීම, මම ද නුඹ පියාණන් වහන්සේගේ ශාසනයෙහි එක්තරා එක් ශ්‍රද්ධාවන්තයෙකිමි. යමෙක් නිශිත වූ කඩුවක් ගෙන මා ශීර්ෂච්ඡේදය කරනුයේ වී නමුත් බුදුන් නු බුදුනැ යි නො කියමි, දහම් නො දහමැ යි නො කියමි, සඟුන් නො සඟුනැ යි නො කියමි”යනාදි නො එක් තෙපුල් කියා තුණුරුවන් ශරණ පිහිටියහ. එ වේලෙහි මහ තෙරුන් වහන්සේ සිටාණන් ආදි වූ මුළු නුවරවාසීන්ට අනුරූප වූ බණ වදාරා ඇත්හලින් නික්මුණු හස්ති රාජයකු සේ සිටාණන්ගේ යෙන් නික්ම පාත්‍රය අත්ලේ තබා ගෙන නුවරින් පිටත් වලා බුදුන් වසන වෙහෙර බලා නික්මුණු සේක.

එ කල නුවර දර පලා සොයා වලට ගිය සත්ත්‍වයෝ ද නො එක් කෘෂි කර්මාන්තාදියට බැහැර ගියා වූ සත්ත්‍වයෝ ද “පිණ්ඩොල භාරද්වාජ මහ තෙරුන් වහන්සේ මුළු නුවරට පෙළහරක් පෑ සේක. සිටාණන්ගේ සඳුන් පාත්‍රය පිළිසත් සේකැ”යි යන බස් අසා “අපි අපි ද එ පෙලහර බලම්හ”යි උපන් සන්සලයෙන් තමන් තමන් යෙදුනා වූ ඒ ඒ කර්මාන්ත හැර ඔවුනොවුන් පරයා නුවර බලා දිවන්නාහු පාත්‍රය අත්ලෙහි තබාගෙන වෙහෙරට වඩනා තෙරුන් වහන්සේ දැක වැඳ පෙරළී “ස්වාමිදරුවාණෙනි! මහත් වූ කරුණා ඇති බුදුරජාණන් වහන්සේගේ පුතණුවන් වහන්ස! නුඹගේ පෙළහරෙහි මහිම අප පින්මඳ හෙයින් සිත්සේ බලාපිය නුහුනුම්හ. නුඹ පියාණන් වහන්සේ වෙසතුරු මහරජ ව සත සතු මහදන් දී මුළු නුවර ක්‍ෂුභිත කොට තපසට වලට යන ද දනට පසු ව පසුපස්සෙහි ගොස් දන් ඉල්වූ බමුණන්ට පවා නැතැ යි නො කියා අසුන් දුන් සේක. රථ ය දුන් සේ, එසේ සෙයින් නුඹවහන්සේ ද පියාණන් වහන්සේ සේ ම පෙළහර දැක්වීමට පසුව හියා වූ අප හැම ද කිසියම් පෙළහරෙකින් සන්තෝෂ කාරවුව මැනවැ”යි කිය කියා මහ තෙරුන් වහන්සේ සිසාරා වැඳ පෙරළෙති.

එ වේලෙහි මහ තෙරුන් වහන්සේ ඔවුනු දු කෙරේ උපන් මහත් වූ කරුණාවෙන් සමහර විටෙක ආකාශයෙන් වඩිමින්, සමහර විටෙක දුමමින් සමහර විටෙක දිලියෙමින්, සමහර විටෙක අහසින් බැස සන්හුන් ගමනින් වඩිමින්, සමහර විටෙක අත්ලෙහි තුබූ පාත්‍රය අහසට හැර ආකාශයෙන් ගෙන යෙමින් නොයෙක් පෙළහර දක්ව දක්වා ගොස් විහාරයට වන්සේක. එ කල දහස් සුවහස් ගණන් සත්ත්‍වයෝ මහ තෙරුන්ගේ පෙළහර දැක දැක දොහොත් මුදුන් දිදී මහත් වූ සාධුනාද පූජා ය. ඔල්වරසන් අසුරුසන් පිළී ඉස සිසාරා නැටීමැ යි යනාදී වූ අප්‍රමාණ වූ උත්සව පූජා කළහ.

වෙල හස් වන් කල, ගඟ හස්වනැ යි කියන්නා සේ, රජක්හුගේ සේනාව ගොස් එක් රටක් ජය ගත් කල අසුවල් රජ අසුවල් රට ජයගතැ යි ඒ කීර්තිය කළවුන් තිබිය දී රජහට කීර්ති කියවන්නා සේ, බුදුන්ගේ ශ්‍රාවකයන් කළා වූ පෙළහර ද ලදුවා වූ අද්භූත පූජා ද, බුදුන් ම ලදුවා නම් වන බැවින් මෙසේ මෙසේ වූ සත්කාර පූජාවන් ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, සත්පුරුෂ වූ ජනයන් විසින් බුදුහු අර්හත් නම් වන සේකැ යි දතයුතු.

එ කල ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ එ පවත් අසා භික්‍ෂුසඞ්ඝයා රැස්කොට “මහණෙනි! අනන්තාපරියන්ත වූ බුදුන්ගේ ශාසනවල දඬු පාත්‍රයක් පිළිගත් කෙනෙක් නැත, එසේ හෙයින් මාගේ ශාසනයෙහි ද දඬු පාත්‍රයක් පිළිගත නො හැක්ක, ප්‍රත්‍යයක් නිසා ශ්‍රාවකයනු දු ප්‍රාතිහාර්‍ය්‍ය පෑ නො හැක්කේ ය”යි ශික්‍ෂාපද පනවා වදාළ සේක. එ තැන් පටන් භික්‍ෂූන් වහන්සේ පෙළහර නො පානා සේක.

එ කල තීර්ථකයෝ රැස් ව ඔවුනොවුන් හා මන්ත්‍රණය කරන්නාහු “මහණ භවත් ගෞතමයෝ තමන්ගේ ශ්‍රාවකයන්ට ප්‍රාතිහාර්‍ය්‍ය නො පානා පරිද්දෙන් ශික්‍ෂාපද පැනවූ ල, උන්ගේ ශ්‍රාවකයෝ නම් තමන් දිවි යේ නමුත් උන් කී බසක් නො වරදවන්නාහුය. ශ්‍රාවකයන්ට පෙළහර පෑ නො හැක්කැ යි ශික්‍ෂාපද පැන වූ බැවින් මහණ භවත් ගෞතමයෝ තුමූ ද පෙළහර නො පානා හු ය, අපට වූයේ අනුබලයෙක, එ තෙකින් අපි අපි දු ඔවුන් හා සරිගස්වා පෙළහර පාම්හ යි ගර්ජනා කොට ඇවිදුම්හ”යි නුවර ඒ ඒ තැන්හි සිට බොහෝ අඥානයන් රැස් කොට “මහණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් සේ අපි අපි දු ලාභ නිසා පෙළහර නො දක්වම්හ. ඔහු පෙළහරක් පෑවූ නම් අපි දශ පෙළහරක් දක්වම්හ. භවත් ගෞතමයෝ දශ පෙළහරක් පෑවූ නම් අපි විසි පෙළහරක් දක්වම්හ”යි යනාදි වසයෙන් තමන් මුඛප්‍රාප්ත වූ බොහෝ නන් දොඩන්නාහු ය.

එ කල බිම්බිසාර රජ්ජුරුවෝ එ පවත් අසා බුදුන් කරා ගොස් බුදුන් වැඳ එකත්පස්ව හිඳ “ස්වාමීනි! නුඹවහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ පෙළහර නො පානා පරිද්දෙන් ශික්‍ෂාපදයක් පනවා වදාළ සේක් දැ”යි විචාළහ. “එසේ ය! මහරජැ”යි වදාළ සේක. එ බසට රජ්ජුරුවෝ කියන්නාහු “එසේ වී නම් ස්වාමීනි! තීර්ථකයෝ නුඹවහන්සේ ලා ස්පට්ඨා කොට තුමු තුමූත් පෙළහර පාම්හ යි දොඩා ඇවිදුනාහු ය, ඊට කළමනා කිම් දැ”යි විචාළහ. ස්වාමි දරුවෝ සිනා පහළකොට “මහරජ! ශක්‍රදේවේන්‍ද්‍රයා හා ස්පට්ඨා කරන පාංශුපිශාචකයන්ගේ කිසි ගුණලවයක් නැති තීර්ථකයන් හා ලොවුතුරා බුදුන් හා සම සමයෙහි පෙළහර පානාකල බුදුහු කිසියම් පෙළහරක් දක්වන්නෝ වේ දැ”යි වදාළ සේක.

එ බසට රජ්ජුරුවෝ “ස්වාමීනි! පෙළහර පෑ නො හැක්කැ යි ශික්‍ෂාපද පැනවූ කල දැන් පෙළහර පානෝ කෙසේදැ”යි විචාළහ. මහරජ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පැනවූ බවක් මිස මට නො පැන වූයෙම් වේ දැයි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ “නුඹ වහන්සේගේ ශික්‍ෂාපද ශ්‍රාවකයන්ට ඇද්ද, නුඹ වහන්සේට නැද්දැ”යි කීහ.

එ බසට බුදුහු වදාරණ සේක් “මහරජ! සමුද්‍රය පවා තප්ත කොට පියන තරම් සූර්‍ය්‍ය දිව්‍යපුත්‍රයන්ගේ මුළුසක්වල පවත්නා වූ තේජස් ඔවුන්ගේ සුඛුමාල වූ දිව්‍යකායෙන් ලොමකුත් හුණු කළ නො හෙන්නේ ය, සියලු සතුන් හිස්මුදුන් පළාපියන තරම් ආඥා ඇති සිංහරාජයන්ගේ නාදය ඔවුන් තමන්ගේ හිස් මුදුනට නැත. මේ මේ කාරණයෙන් වදාරණසේක් සර්වඥරාජයන්ගේ කෙළ ලක්‍ෂයක් සක්වළ පවත්නා වූ ආඥාව සර්වඥයන් තමන් තමන්ට නැති සේ ම ය. ඊට කාරණ තොප අතින් ම විචාරමි. මහරජ! තොපගේ උයනෙහි අඹ අනෙකක්හු නො කන්නේ ය යි තොපගේ ආඥාවෙන් බෙර ලැවු කල අනෙකෙක් කා නම් ඕහට කුමක් කරා දැ”යි විචාළ සේක. ඔහු අතින් දඩගනිමි යි කීහ. ඒ අඹ තොප කෑ කල තොපට දඩ ඇද්ද නැද්දැ යි විචාළ සේක. මා අතින් දඩ ගන්නෝ කවුරු දැ යි කීහ. එබැවින් මහරජ තොපගේ තුන්සියක් යොදුන් අගු මගධ දෙරට පවත්නා වූ ආඥාව තොපට නැත්තා සේ ම, කෙළලක්‍ෂයක් සක්වළ පවත්නා වූ බුදුන්ගේ ශික්‍ෂාපද සඞ්ඛ්‍යාත වූ ආඥාව බුදුන්ට නැත්තේ ම ය.

කාරණ කිම! යත්; බුදුහු ස්වයම්භූයහ, අනාචරියහ, අප්‍රති පුද්ගලයහ. එසේ හෙයින් බුදුහු තුමූ ම තමන්ට මහණ වූහ. ශ්‍රාවකයන් අනුන් කෙරේ මහණ වන සේ හික්මවති. බුදුහු තුමූ රන්තලියෙන් කිරිපිඬු වැළඳූහ. ශ්‍රාවකයන් රන්පාත්‍ර නො පිළිගන්නා සේ හික්මවති. බුදුහු තුමූ ග්‍රාමාන්තසේනාසනයෙහි වෙසෙති. ශ්‍රාවකයන් ආරණ්‍ය වෘක්‍ෂමූල ශ්මශානාදියෙහි රමණය කරන සේ හික්මවති. මේ මේ කාරණයෙන් ශ්‍රාවකයන් කෙරෙහි පවත්නා වූ ආඥාව බුදුන් කෙරෙහි නො පවත්නේ වේ දැ යි වදාළ සේක.

ගණ්ඩබ්බ අඹ ගස

එ වේලෙහි රජ්ජුරුවෝ කාරණ ගිවිස “ස්වාමීනි! කොයි දී ද ප්‍රාතිහාර්‍ය්‍ය පානේ දැ”යි විචාළහ. මහරජ! අනන්තාපරියන්ත වූ බුදුන් යමාමහ පෙළහර පෑවා සේ සැවැත් නුවර දී වේ දැ යි වදාළ සේක. කෙසේ වූ තැනෙක දී ද ස්වාමීනි යි විචාළහ. මහරජ! ගණ්ඩම්බ නම් වෘක්‍ෂමූලයෙක දී ය යි වදාළ සේක. කවර කල ද පෙළහර පානේ ය යි විචාළහ. මෙයින් සාරමසක් ගිය කල ඇසළ මැදිපොහෝ ලද උත්‍රසළ නැකතිනැ යි වදාළ සේක.

එ වේලෙහි රජ්ජුරුවෝ “ස්වාමීනි! මා විසින් කළමනා කිම් දැ”යි විචාළහ. මහරජ! මනුෂ්‍යයන් විසින් කළමනා දෙයක් නැත. මාගේ පාරමිතා බලයෙන් අඹගසෙකුත් මැවෙයි, ශක්‍රදේවේන්‍ද්‍රයා දොළොස් යොදුන් නිලුපුල්මණ්ඩපයකුත් මවා දෙයි. තොප විසින් කළමනා දෙයක් නැත. බුද්ධෝත්පාදයෙහි උපන් පින්වතුන් ලබන්නා වූ බුද්ධ ශ්‍රී මහිමය සිත් සේ ලැබ ගනුව යි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ බුදුන් වැඳ රජගෙට ගියහ.

බුදුන් “පෙළහර පාමි”යි වදාළ බස් මුළුනුවර සැලව ගිය. එ කල සම්‍යග් දෘෂ්ටි ගතුවෝ උත්සවයට පටන් ගත්හ. තීර්ථකයෝ එ තෙපුල් අසා ලෙන් නැඟි ගින්නෙන් සුසුම් ලලා ඔවුනොවුන් මුහුණ බලා “කොල! එතෙකින් අපි නටුම්හ. මහණ භවත් ගෞතමයෝ පෙළහර නො පවති යි සිතා බොහෝ බස් දොඩාපීම්හ. දැන් ඔහු පෙළහර පවිත් ල. ඔවුන්ගේ ශික්‍ෂාපද ශ්‍රාවකයන්ට මුත් ඔවුන්ට නැත් ල. මේ සාරමස වී නමුත් අඩුවක් නො පෑ රැකී යම්හ. සොරහු පවා උලට නඟන තෙක් එක බස ම සිටිනාහු ය යි යන ව්‍යවහාරයෙහි සේ ම හැමදෙන ම තව අඩුවක් නො හඟවම්හ”යි මන්ත්‍රණය කොට නුවර මැද සිට “මහණ භවත් ගෞතමයෝ මායම් දන්නා කෙනෙක; තුමූ මේ නුවරදී පෙළහර නො පවිත්ල, අනික් නුවරක දී පෙළහර පවිත් ල. උන් කියන්නේ මායම් ම ය; අප හැම බා අනික් අතෙක සැඟවී පලායන මායමක් කරන සැටිය, එසේ උන් පලා යා නො දෙම්හ. මේ සාර මස අපි දු අන් පිට රකවල් කරම්හ”යි කිය කියා වෙහෙර දොරකඩ රැස් වූහ.

එ සඳ ස්වාමිදරුවෝ තරු පිරිවැරූ සඳක් සේ වෙහෙරින් නික් ම, දනවු සැරිසරා ලෝවැඩ කොට කොට ගමින් ගම සැතපි සැතපී ගමින් ගම වළඳ වළඳා ගමින් ගම දහම් වහරේ වස්ව වස්වා වඩනට පටන් ගත් සේක.

එ කල බුදුහු පෙළහර පානට නුවරින් නික්මුණු සේකැ යි මුඛපරම්පරාවෙන් දෙවියන්ගේ ආනුභාවයෙන් අසා දඹදිව ශ්‍රද්ධාවන්ත වූ ස්ත්‍රී පුරුෂයෝ “අපි අපි දු එ පෙළහර බලම්හ”යි උපන් සන්තෝෂයෙන් ගව මහිෂාදි සියලු සම්පත්තියෙහි ලෝභය නො කොට කිරි බොන දරුවන් දක්වා වඩාගෙන සම්පත්තින් පිරුණා වූ ගෙවල දොර පතු හයා බැඳ, නො එක් නො එක් ගම් හිස් කොට ධජ පතාකාදි නො එක් පූජාභාණ්ඩ ගෙන ස්වාමිදරුවන් ලැගි ගමන් ගමට හඬ හඬා ලුහුබැඳ රළපෙළ දිවන්නා සේ දවසින් දවස බුදුන්ට මහ පූජා කෙරෙමින් නික්මුණාහ.

තීර්ථකයන්ගේ පෙළහර

එ කල දඹදිව තීර්ථකයන් කෙරේ පැහැද උන්ට මහත් වූ සත්කාර කරන්නා වූ නාලන්‍දා නුවර උපාලි නම් සිටාණන් හා විශාලා නුවර සිංහ නම් සිටාණන් හා කිඹුල්වත් නුවර වප්ප නම් ශාක්‍යයන් හා ශ්‍රීවන්තයෝ තුන් දෙනෙක් වූහ. එ කල තීර්ථකයෝ ද මේ ආදි තමන් තමන්ගේ දෘෂ්ටිගතුවන් කරා ගොස් “භවත් ගෞතමයෝ සැඟවී පලායන්ට සිතති. අපට සහාය වව ඔවුන් යා ත් නො දෙම්හ. අපගේ පෙළහර බලන්ටත් එව”යි කියා තමන් තමන්ගේ දෘෂ්ටි ගත් බොහෝ අඥාන වූ මහපිරිස් ගෙන බුදුන් පසුපස්සෙහි සිංහසේනාවක් පසුපස්සෙහි ගමන් ගත් ශෘගාල පිරිසක් සෙස් නික්ම බුදුන් දහවල් වැළඳූ තෙන තුමූ රෑ ලගිමින්, බුදුන් රෑ ලැගි තෙන තුමූ දහවල් බා ගනිමින්, මෙසේ සාරමස මුළුල්ලෙහි බුදුන් පසුපස්සෙහි ම ගියහ.

එ කල ස්වාමිදරුවෝ ද සියලු ජනයන් විසින් කරන ලද පූජා සත්කාර විඳ විඳ අපමණ වූ මහ පිරිස් ගෙන ඇසළ මස පුර අටවක සැවැත් නුවර ගොස් වන් සේක.

තීර්ථකයෝ ද “මහණ භවත් ගෞතමයෝ ඉවතෙක නො ගොසින් සැවැත් නුවර බලා ම යන්නාහ. පෙළහර පානා බවු සබා ම සැටි ය. එතෙකින් කුමක් කරමෝ ද, දුටුවක් දතුම්හ”යි සිත සිතා තමන්ගේ මිථ්‍යදෘෂ්ටි ගත් පිරිස් ගෙන සැවැත් නුවර වැද තමන් තමන්ගේ ලබ්ධි ගත්තා වූ ජනයන් නළවා ලක්‍ෂයක් ලැබගෙන, ඒ ලක්‍ෂය වියදම් කොට අපි දු උන් සේ ම මණ්ඩපයෙක දී පෙළහර පාම්හ යි කිය කියා කිහිරි පාදයන් හිඳුවා මනෝහර වූ මණ්ඩපයක් කොට හුදු නිල්පුල්මලින් සොයා නො එක් සැරහුම් කළහ.

කොසොල් රජ්ජුරුවෝ ද බුදුන් වැඩි දවස් අනාථපිණ්ඩිකාදි ශ්‍රද්ධාවන්ත සත් කෙළක් පමණ මනුෂ්‍යයන් ගෙන මහත් වූ පූජාවෙන් බුදුන්ට පෙරගමන් කොට බුදුන් දෙව්රම් වෙහෙර ලා බුදුන් වැඳ එකත්පස් ව හිඳ “ස්වාමීනි! මේ මහ පිරිස නුඹ පසුපස්සෙහි කුමක් නිසා එද් දැ”යි විචාළහ. මහරජ! මා විසින් දක්වන්නා වූ යමාමහ පෙළහර බලන්නට රැස් වන්නාහ යි වදාළ සේක. ස්වාමීනි! කොතෙනෙක දී පෙළහර පානා සේක් දැ යි විචාළහ. මහරජ! තාගේ නුවර වාසල් දොරට නුදුරු තෙන අඹඹගසක් මුල දී ය යි වදාළ සේක. එසේ වී නම් ස්වාමීනි! තීර්තකයෝ තුමූ ද පෙළහර පාම්හ යි මණ්ඩපයක් කෙරෙහි ස්වාමිදරුවන්ට ද අනගි වූ මණ්ඩපයක් කරවාලනු කැමැත්තෙමි යි දැන්වූහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ “මහරජ! තොපට බැරි ය, අපට මණ්ඩපයක් කරන කෙනෙක් ඇතැ”යි වදාළ සේක. එ වේලෙහි කොසොල් රජ්ජුරුවෝ “ස්වාමීනි! මේ මුළු දඹදිව් තෙලෙහි මා ඇර නුඹවහන්සේට මණ්ඩපයක් කරවන තරම් මටත් වඩනා කෙනෙක් ඇද්දැ”යි කීහ. ස්වාමිදරුවෝ “මහරජ මනුෂ්‍යයන් කරවන මණ්ඩපයෙක් නම් තොපි ම කරවන්නා වාද. සක්දෙව් රජ දොළොස් යොදුන් නිලුපුල් මණ්ඩපයක් මට කොට දෙයි. මේ සා මුළු දඹදිව සත්ත්‍වයන් හැමදෙනා අවුත් සිටිනේ ඒ මණ්ඩපය ඇතුළෙහි ම ය. තෙපි මුසුප්පු නොව පෙළහර බලන්නට සැරහී ගනුව”යි වදාළ සේක. ස්වාමීනි! ඒ පෙළහර පානේ කවර දවස් දැ යි විචාළහ. මහරජ! මෙයින් සත්දවසක් ගියකල ඇසළ මැදි පොහෝ ලද උත්‍රසළ නැකතිනැ යි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ ඉතා විස්මය පත්ව තමන් පෘථග්ජන හෙයින් තව ද: මඳක් සැක ඇති ව “ස්වාමීනි! මෙ පවත් බොහෝ සත්ත්‍වයන්ට සැලකම් වම් දැ”යි විචාළහ. මහරජ! සැක නැති ව ම පොහොසතු නම් මුළු දඹදිව සත්ත්‍වයන්ටත් සැලකරව යි වදාළ සේක.

එ වේලෙහි රජ්ජුරුවෝ සැක නැති ව නුවරට වැද මඟුලැතු සරහා අමාත්‍යයන් ඇතුපිට හිඳුවා “අප බුදුහු මෙයින් සත්දවසක් ගිය කල යමාමහ පෙළහර බලන කෙනෙක් රැස් වව”යි කියා නුවර මුළුල්ලෙහි රන් බෙර ලවා සැලකළාහු ය. එවේලෙහි දෙවියන්ගේ ආනුභාවයෙන් ඒ කනක භේරිනාදය දස දහසක් යොදුන් දඹදිව මුළුල්ලෙහි දොර දොර ලවන බෙර සේ දොර දොර සිට හඬ ගානා සේ විශේෂයෙන් ඇසී ගිය. දෙවන දවසු දු එසේ ම බෙර ලැවූහ. තුන්වන දවසු දු, සතරවන දවසු දු පස්වන දවසු දු, සවන දවසු දු එසේ ම එ බෙර ලැවුවාහු ය. එසේ එසේ ම මුළු දඹදිව සත්ත්‍වයෝත් එ බෙරහඬ ඇසුවාහු ය. සත්වන දවස් උදාසන බෙර ලැවු හඬ අසා දසදහසක් යොදුන් දඹදිව මනුෂ්‍යයන් අතුරෙන් යම් යම් කෙනෙක් එ පෙළහර බලම්හ යි සිතූ නම් ඒ සිත හා සමග සැවැත් නුවර අවුත් පෙනී ගියාහු ය. මිථ්‍යාදෘෂ්ටි ගතුවා වූ සත්ත්‍වයෝ ද ගැළවුන මනා කෙනෙක් අවුත් පෙනී ගියාහු ම ය.

එ කල තීර්ථකයෝ “මහණ භවත් ගෞතමයේ අඹගසක් මුලදී පෙළහර පවිමි යි නො සලකා දෝ හෝ පළමු කොට ම කියා දමාපු ය. කොල! උපදෙසක් ඇත. උන්ගේ බස බොරු කරම්හ. මෙ නුවර අඹගස් නැසි කරම්හ”යි මන්ත්‍රණය කොට තමන් තමන්ගේ ලබ්ධි ගත් සිටුවරුන්ගේ බොහෝ සම්පත් ඇරගෙන නුවර අඹගස් ඇති ඇතියන්ට සියක් වටනා ගසට දෙසියයක් දී, දෙසියයක් වටනා ගසට සාරසියයක් දී, මෙසේ මෙසේ ම අඹගස් කපන්නාහු නුවර සිසාරා යොදනක් මානයෙහි තමන්ට විෂය වූ යම් තැනෙක එක් පෙති දෙපෙති අඹපැල දක්වා උදුරා හැර තමන් තමන් අඹ අඹා ම විනාශයට පැමිණෙන නියාවට පළමු කොට ම කාරණ පානා සේ, එ නුවර අඹගස් අඹ අඹා ම පාළු කළහ.

ඉක්බිත්තෙන් ඇසල මැදි පොහෝ දිනයෙහි ස්වාමිදරුවෝ උදය කළමනා සියලු බුද්ධකෘත්‍යය නිමවා පාත්‍ර සිවුරු දරා, මහසඟ පිරිස් පිරිවරා සිඟා වඩනා සේක් නුවර වාසල් දොරට පැමිණි සේක. එ කල රජ්ජුරුවන්ගේ ගණ්ඩම්බ නම් උයන් ගොව්වා උයන බලා ඇවිදිනේ දිමිකැදැල්ලෙක සැඟවී මුහුකුරා විලික්‍ෂ ව තුබූ කොමඩු පුසුල් සා මී අඹපතක් දැක කඩාගෙන මේ අකාල ඵලය රජහට දෙමි යි සතුටු ව රජගෙට යනුයේ සිඟා වඩිනා බුදුන් දැක උපන් පස්වනක් ප්‍රීතින් පිනා “මේ අඹඵලය රජ්ජුරුවන්ට දුනිම් නම් රජ්ජුරුවෝ ඉතා සන්තෝෂ වූ නම් මට අට මස්සක් හෝ දෙති. සොළොස් මස්සක් හෝ දෙති. තවත් පැහැද ගියෝ නම් මේ ජාතියෙහි රැකෙන පමණක් සැපත් දෙති. බුදුන්ට පිළිගැන්වීම් නම් ජාතිසහස්‍රෙයක මට මහත් වූ සම්පත් ලැබෙයි. සසරින් ගැළවීමට කාරණ වෙයි. අද මේ බුදුන්ට ම පිළිගන්වමි” යි සිතිා මී අඹපක දෑතින් ගෙන නැඹුරු ව බුදුන් සමීපයට ගොස් “ස්වාමීනි! මේ අඹපත පිළිගෙන ගැත්තවුට අනුග්‍රහ කොට වදාළ මැනැවැ”යි කියා බුදුන්ගේ ශ්‍රීහස්තයට පිළිගැන්වීය.

එ වේලෙහි ස්වාමිදරුවෝ අනඳ මහ තෙරුන් වහන්සේ මුහුණ බලා අඹ පක ඔබ අතට දුන් සේක. ඔබ ද තමන් වහන්සේ බුදුන්ගේ අදහස් දන්නා මහනුවණ ඇති හෙයින් ස්වාමිදරුවන් බැලු බැල්ම හා සමග “බුදුහු අඹපක මෙතෙන දී වළඳනු අභිප්‍රාය ඇතිසේකැ”යි දැන එ කෙණෙහි ම අඹපක පොතු ගලවා බුදුන්ගේ පාත්‍රයට පිළිගන්වා එ තැන්හි ම බුද්ධාසනයක් පනවා “ස්වාමීනි! මෝහට අනුග්‍රහ පිණිස මොහු බල බලා සිටියදී ම මේ අඹපක වළඳා මැනැවැ”යි ආරාධනා කළ සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ පනවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ වළඳන්නට පටන්ගත් සේක. එ කෙණෙහි දෙවියෝ උයන් ගොව්වා හැර සෙසු කෙනකුන්ට නො පෙනෙන සේ බුදුන් සිසාරා මුවා කළහ. එ වේලෙහි ස්වාමිදරුවෝ ද ඒ අඹපක වළඳා “ආනන්‍දය! තෙලෙ අඹ ඇටය තුලු ලවා මෙ තෙන රෝපණය කරව, එයින් දැන්දක් අඹගසෙක් නැඟෙ”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේගේ නියෝගයෙන් හේ තෙම ස්වාමිදරුවන් අභිමුඛයෙහි පස් පීරා අඹ ඇටය රෝපණය කෙළේ ය. එ වේලෙහි ස්වාමිදරුවෝ ශ්‍රි හස්තය ශෝධා ශ්‍රී මුඛයෙහි පැන් එතෙන වත්කොට වදාළ සේක. එ කෙණෙහි “ස්වාමීනි! නුඹවහන්සේ පෙළහර පානා බවට මම් ම දෙස් කියමි”යි මිහිකත මුව විවර කළා සේ පොළොව දෙසිදුරු කොට ගෙන ස්වාමිදරුවන්ගේ තේජෝ නමැති සේවකයා තුන්ලෙව්හි ඇවිද ඔබ හා සමයක්හු නො දැක, නැවත ඔබ කරා පැමිණ ඔබ පාදමූලයෙන් පැනනැංගා සේ නඟුලිසක් ප්‍රමාණ ඇති සුරක්‍ෂිත වූ අංකුරයෙක් මහා යන්ත්‍ර නළෙකින් ලාක්‍ෂාරස හැල්ලක් විද්දා සේ ඇසිපිය නගා නො ලන ඇසිල්ලෙහි පනස් රියන් කඳ ඇති ව පනස් රියන් පඤ්චමහා ශාඛා ඇති ව එකි එකී ශාඛාවෙහි සුවහස් ප්‍රශාඛාවෙන් විරාජමාන වෙමින් සුරක්ත වූ පල්ලවයෝ පෙරළී නීලවර්ණ වෙමින් ඉඳුමිණිනිල් පර්වතයක් සේ මුළුනුවර හොබවා වනස්පතී මහ ම අඹ රුකක් සේ මැවී ගිය.

ඒ් රුක පූර්ව ශාඛාග්‍රෙයහි පටන් පශ්චිම ශාඛාග්‍රයට සියක් රියන, උත්තර ශාඛාග්‍රෙයහි පටන් දක්‍ෂිණ ශාඛාග්‍රයට සියක් රියන ශාඛාමණ්ඩලය සිසාරා තුන්සියයක් රියන, රිදීකඳක් බඳු වූ මට සිලුටු වූ කඳවට පසළොස් රියන, කඳ බොල පස්රියන. එකෙණෙහි ම සුවහස් ගණන් මල්කැන් කඳ පළා අතු පළා පැන නැඟී එ කෙණෙහි ම මල් පර ව මලැසි ගෙන එ කෙණෙහි ම මුහුකුරු විලික්‍ෂී සුවහස් අඹකැන් බුරා එලෙන්නට පටන්ගත මන්‍දමාරුතයෙන් විලිකුන් අඹ නටුයෙන් ගිලිහී ගනරන්පිඬු සේ ඒ ඒ තෙන හී වැගිර රුක සිසාරා සැදී සිටගත. ඒ රුක ගණ්ඩ නම් උද්‍යානපාලකයා රෝපණය කළ හෙයින් ගණ්ඩම්බ නම් විය.

මාගේ ස්වාමිදරුවාණන් සංසාරයෙහි ඇවිද තපස් කරන කල පවා දෙවියන් ඔබට තුන්ගවු පමණ ඇති දිව්‍යමය වූ අඹ උයන් දෙන කල, ඔබ ගිරා ව උපන් කල පවා, ඔබ වැඩහුන් රුක සක් දෙව්රජහු සහ මල්පල්ලෙන් මවා ධ්‍රැවඵලයෙන් පූජාකරන කල. ඔබ කර කොළ වැළඳූ රුක පවා එසේ ම දිව්‍යපත්‍රයෙන් අලඞ්කෘත වූ කල, මහෞෂධ පණ්ඩිත වූ කල පවා, හිඳුවාලූ ඇඹුල අලයෙන් එකදා උසින් සැටරියන් ඇඹුලගස් පැන නැගෙන කල, දැන් ලොවුතුරා බුදු ව තුන්ලෝ මුදුන් වූ සමයක් වුව, පැරුම් සයුරු හළලපු සමයක් වුව, බුදුකෙනකුන්ගේ සෘද්ධියක් හා, රහතුන්ගේ සෘද්ධියක් හා දෙවිබඹුන්ගේ සෘද්ධියක් හා, ත්‍රිවිධ වූ සෘද්ධීන් විරාජමාන වූ සමයෙහි ඔබට එක අඹගසක් පොළොව පළා පැන නැඟී සහමල් පල්ලෙන් විරාජමාන වූ නියාව ඔබගේ මහිම විශේෂයෙන් දත්තා වූ මාගේ සිතට කවර නම් පෙළහරෙක් ද, එසේ ද වුවත් එබඳු වූ අද්භූතයෙක්, එබඳු වූ පෙළහරෙක් මාගේ බුදුන්ට ම හොබනේ ය. එබඳු වූ පෙළහරට ඔබ හොබනා සේක් ම ය. මට ද සියලු සතුන්ට ද විස්මය ම ය. එ කල පස්සෙහි වඩනා නො එක් භික්‍ෂූන් වහන්සේ විලිකුන් අඹ වළඳ වළඳා වඩනා සේක.

ඉක්බිත්තෙන් මුළු නුවර සත්ත්‍වයෝ එ තෙනට රැස් ව ඔවුනොවුන් පරයා විලිකුන් අඹ සිත් සේ තලු ගස ගසා කා දිව්‍යපානයෙන් මත් වූ අසුරයන් සේ දිවඅඹරසයෙන් මත් වූවාහු අඹ කකා ඒ ඒ දිග්හී දිව කෑ කෑ අඹ ඇට මිථ්‍යාදෘෂ්ටීන් ඇඟට ගස ගසා, ඒ ඒ තැන්හි ගඩු නංව නංවා “කොල! අප බුදුන්ට අඹගස් නැති කරම්හ යි දෙපෙති අඹපැල දක්වා උදුරා ඇවිද්දා වා ද, අප බුදුන්ගේ මහිම බලව, අඹ ගසක් මැවී ගිය ඇසිලි බලව, ගණ්ඩ නම් උද්‍යානපාලයා ඉඳුවූ හෙයින් එ ගස ගණ්ඩම්බ ය යි බුදුන් වදාළ බවක් මිස අපි වනාහි අඹ ඇට ගැස්මෙන් තොප හැමගේ ඇලපිට පතුපිට, නළල්පිට, අඹ ඇට ගසා ම ගඩු නැංවූ හෙයින් ගණ්ඩම්බ ය යි කියම්හ”යි යනාදීන් මිථ්‍යාදෘෂ්ටීන් වෙහෙස වෙහෙසා ඒ ඒ දිග්හි ලුහුබැඳ වූහ.

එ වේලෙහි කොසොල් රජ්ජුරුවෝ සඳල්ලෙහි සිටියාහු නිල් මහමේකුළක් සේ නුවර දොර දිලියෙන මී අඹ ගස දැක “කොල! තෙලේ කිම් දැ”යි විචාරා “බුදුන්ගේ පෙළහරින් පැන නැගී අඹ ගසෙකැ”යි අසා අනේපිඬු මහසිටාණන් ආදි වූ මුළුනුවර සත්ත්‍වයන් ගෙන එ තෙනට දිව අවුදින් අඹගස දැක “ස්වාමීනි, ශාක්‍යසිංහ වූ බුදුරජාණෙනි! මේ වැනි පෙළහරක් පානා කල අපට නො කියා පෑ වදාළේ ඇයි ද, නුඹ පානා යමාමහ පෙළහර නම් මේ දැ”යි කීවාහු ය. එ වේලෙහි ස්වාමිදරුවෝ සිනා පහළ කොට “මහරජ! මේ කුමන පෙළහරෙක් ද, තවද පෙළහර තුබුයේ ය. ඉක්මන් නො වව”යි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ අති සන්තෝෂ වූවාහු මිථ්‍යාදෘෂ්ටි ගතුවන්ගෙන් මේ ගසට කිසි උපද්‍රවයෙක් වීම් නම් නපුරැ යි කියා ගස සිසාරා ඇත් අස් රථ දුනුවායන් සිටුවා, සන්නාහයෙකින් වැසුවා සේ අඹගසට රකවල් ලවා, සම්‍යග් දෘෂ්ටි ගතුවන් මුත් මිථ්‍යාදෘෂ්ටි ගතුවන් ගස මුලට වැද්ද නො දෙන සේ නියෝග කළහ.

එ වේලෙහි සක්දෙව්රජ වාතවලාහක වස්සවලාහක සූර්‍ය්‍ය දිව්‍ය පුත්‍ර ය යි යන මොවුන් තුන්දෙනා කැඳවා “දැන්දක් අප බුදුහු මහ පෙළහරක් පවිති. දසදහසක් සක්වළ දෙවියෝ රැස් වෙති. ඔවුන් හැමට පළමුකොට මා විසින් බුදුන්ට දිව්‍යමණ්ඩපයෙකින් පූජාවක් කළ මැනව. මා එන තෙක් තෙපි තුන්දෙන පළමු ව ගොස් තීර්ථකයන් පෙළහර පෑමට රිසි පලවම්”යි නියෝග කළහ.

එ වේලෙහි ඒ නියෝග අසා වාතවලාහක දිව්‍යපුත්‍රතෙම පළමු ව අවුදින් තමාගේ මහාවෙරම්බවාතයෙහි අගලක් සා තෙනින් සුළං කඳක් සැවැත් නුවර බලා මෙහෙයාපී ය. එ කෙණෙහි දිවු ඒ සැඩ මහ පවන සම්‍යග්දෘෂ්ටිගතුවන් ඇඟට සුවපහස් දෙමින් මිථ්‍යාදෘෂ්ටි ගතුවන් මහ සල්වනයක් සේ පැහැර බිම වගුරුවමින් ඔවුන්ගේ ලක්‍ෂයක් වියදම් කොට කැරවූ නිලුපුල් මණ්ඩපය පැහැර පෙයා පතක් සේ වෙවුල්වා, කන්කළු ගොණැස් දැව පේකඩ මුරුවට සේ සුණු විසුණු කෙරෙමින් කිහිරිපා කිහිරි බණවා කලන් පීල් සේ මුලිනුපුටා හෙළමන්, නිලුපුල් මල් පිසඹුරු සේ වෙන් වෙන් කෙරෙමින් අහසට නඟාගෙන ගොසින් අශුචි භූමියට දැමී ය. එ වේලෙහි පෙළහර කරම්හ යි මණ්ඩපයට රැස් ව තමන් තමන්ගේ ලබ්ධි ගතුවන් පිරිවරා ඒ ඒ තැන්හි කැල බැඳහුන්නා වූ තීර්ථකයෝ මණ්ඩපය සුළඟින් කඩා අහසට නඟන වේලෙහි “අපට වූ මේ කුමන මුළාවෙක් ද, අප කළ කළ දෙයෙක් ම නපුරුම යෙයි. ලක්‍ෂයක් වියදම් කොට කළා වූ මණ්ඩපය දැන්දක් නැත. ඇසිල්ලෙකින් අප වදිනා තැනුත් නැත. තෙලෙ තෙන ගන, මෙතෙන ගන, තරයේ ගනැ”යි යනාදීන් කිය කියා මඩුවෙහි වවුලන් සේ එලිගෙන මණ්ඩපය රඳවාගත නොහී සමහර කෙනෙක් අත් ගැළවී එ තෙන ම හුන්හ. සමහරු දිවි යේ නමුත් අප මඩුව නො හරුම්හ යි සාහසිකව මඩුව හා සමග වවුලන් සේ පෙළහර පැ පෑ ගොස් අශුචි භූමියෙහි ම හුන්හ.

ඉක්බිත්තෙන් සූර්‍ය්‍යදේවතාවා තමාගේ ස්තබ්ධ වූ රස් කඳක් මෙහෙයා අවුත් කකියා ගිය වැල්ලෙහි ලූ මසුන් සේ හුණු කොට සර්වාඞ්ගයෙන් ඩා සෙලවී ය. එ කල වෘත වලාහක දිව්‍ය පුත්‍රයා ද නැවත පවනක් මෙහෙයා නුවර මුළුල්ලෙහි සියලු රජස් මෙහෙයා ඔවුන් කරා පමුණුවා ස්වේද ගත් ශරීර රජසින් පුරා තඹ සුඹස් සේ කෙළේ ය. නැවත වස්සවලාහක දිව්‍යපුත්‍ර ද මුදුන් වලා කඩක් මෙහෙයා තීර්ථකයන්ගේ රජසින් වැකුණු ශරීරවල පන්ව පන්වා පොදබින්‍දු හෙළා සමහරුන් තිත්මුවන් සේ කෙළේ ය. සමහරු කඹුරුගොන් සේ වූහ. සමහරු දිව්බාවන් සේ වූහ.

එ කල රැස්වූ මහපිරිස ජනයෝ තීර්ථකයන් කරා ගොස් ඔවුන්ගේ නා නා වෙස් දැක “තොපගේ නිලුපුල මණ්ඩපය කොයි ද, බුදුන්ට පළමු කොට තෙපි ම පෙළහර පෑ පියව. සනීකේවච, සනිකේවද, තෙපි තිත් මුව නම් පෙළහර පානා බුදුකෙනෙක් ද, තෙපි කඹුරුගොන් නම් පෙළහර පානා බුදුකෙනෙක් ද, තෙපි දිවිබා නම් පෙළහර පානා බුදු කෙනෙක් ද, රා පූවන්ගේ ගුණ තොප කෙරේ ඇති හෙයින් තොපගේ රහත් බව් සබා ම ය” යනාදී වසයෙන් ඔවුන් ඉස බොල්කෙළ හෝනා සේ නොයෙක් වෙහෙසුම් බස් කිය කියා තීර්ථකයන් ඒ ඒ තැන්හි මරා ලුහුබැඳ වූහ.

එ කල තීර්ථකයන් මෙසේ සැඟවුනු කල්හි ඔවුන්ගේ උපාසකවරුන් බුදුන්ගේ උපාසකවරු වටකොට ගෙන “කිමෙක් ද තොපගේ බුදුන්ගේ මණ්ඩපය පෙළහර පෑවා දුටු ද, තොපගේ සිත් නැති මණ්ඩපය පවා පෙළහර පානා කල අපගේ සිත් ඇති බුදුන් පානා පෙළහර තොපට කුමන විස්මයෙක් ද, අපගේ බුදුහු පැරැද්දහ, තොපගේ බුදුවරු දිනා ගියහ. බුදුන් ලදුවෝ නම් තෙපි හැමදෙනා ම ය. මනා දෘෂ්ටි ගතුවෝ නම් තෙපි හැම ම ය”යනාදි වසයෙන් වෙහෙසන්නට පටන් ගත්හ. එකල ඔහු ඒ ඒ තැන්හි සැඟවුනාහ.

පූරණ කාශ්‍යපයන්ගේ මරණය

එ කල පූරණ කාශ්‍යප තෙම ගිය ගිය තැන ම මරා ලුහුබැඳ වන හෙයින් කිසි තෙනෙකත් රඳාලිය නොහී “මේ මුළා විඳිනා බලා ත් දිවි නසා ගන්නේ ම යෙහෙකැ”යි පිටතට දිවිබාවකු සේ ම දිවෙයි. එ කල ඔහුගේ එක්තරා එක් උපාසක වූ ගොවියෙක් උදාසන ම ගොස් සී සෑ කල් තබා ගොන්ගේ මුදා සී රැන්දෙක හා අඹුගෙන ගිය කලය හා ගෙන “මාගේ මේ පූරණ කාශ්‍යප බුදුන්ගේ පෙළහර බලන්නට කල්තබා යෙමි”යි සිත සිතා දිවනුයේ ඔහු දැක “ඉක්මන් ව කොයි දිවන සේක් ද, ස්වාමීනි, මා යන්නේ නුඹගේ පෙළහර බලන්නට වේ ද, සිටිය මැනැව, සිටිය මැනැවැ”යි කී ය. එ වේලෙහි පූරණ කාශ්‍යපයා “තාගේ වලහම් පෙළහර තබා තෙලේ මට දීපිය”යි කියා කළස් හා බාන ඔහු අතින් ඉල්වාගෙන වහ වහා ගඟට දිව “ගඟදී මට පානා පෙළහරෙක් වනැ”යි තමා පසු පස්සෙහි දිව ඔහු බල බලා සිටිය දී තෙමේ ගංබිත්තියෙහි සිට සී රෑනෙහි එක් කෙළවරක් කළ කට හා එක් කෙළවරක් තමා උගුරෙහි බැඳ ගංමැදට දෑතින් කළය ගෙන පැන වැටී එක් විටක් කලය උල්පවා, එක්විටක් තෙමේ ඉල්ප කලකටින් නැඟෙන දිය බුබුලෙන් හා තමා කටින් බොන පැනින් හා තමාගේ ගොවියාට පෙළහර පැ පෑ දිය බිබී මිය අවීචි මහ නරකයෙහි ඉපැද ගිය.

මෙසේ තීර්ථකයන් පරාජය වූ කල්හි ස්වාමිදරු වූ බුදුරජාණෝ එදා පස්වරු අනන්තාපරියන්ත වූ බුදුන් යමාමහ පෙළහර දැක්වූ සත් පෑ සමාරක් ගිය සත්ත්‍වයන්ට සුවපහස් දෙන උත්සවයට හොබනා වේලෙහි බුද්ධශය්‍යා වූ සිංහශය්‍යාවෙන් පැන නැඟී සශ්‍රීක වූ සුගත් පාංශුකූල චීවරය දරා නැඟු නැඟූ පත්ලෙහි පියුම් දක්වා, තෙමේ ම විවෘත වූ ද්වාර ඇති ගන්‍ධකුටියෙන් රන්ගල්ගුහාවෙන් නිකුත් අභීත කේශරසිංහ රාජයක්හුගේ වික්‍රම අවික්‍රම කෙරෙමින් කිසි ශඞ්කාවක් නැති ව පිටත් ව ගඳකිළි නිසවත්තෙහි වැඩසිටි සේක.

එ කෙණෙහි උදයගිරි පර්වතයෙන් පැන නැඟි ලහිරි විමනින් නිකුත් සුවහස් රස් සේ, ස්වාමිදරුවන්ගේ ශ්‍රී ශරීරයෙන් නිකුත් බුදුරස් කඳු බුදුන් තුන් යලක් සිසාරා ආවර්තනය කොට එයින් ගොස් ඒ සා සැවැත් නුවර රන්පටක් අතුරන්නා සේ, රන්වන් කොට, එයින් ගොස් මුළු දඹදිව ව්‍යාප්තව රන්කැටපතක් සේ බබුළුවා, එයින් ගොස් සක්වළගල සිසාරා තුන්වාරයක් ඇවිද මුළු සක්වළ රන්මුහුදු කෙරෙමින්, එයින් අහස්කුසට පැන නැඟී සදෙව්ලොව, සොළොස් බඹලොව දෙවියන්ගේ ශරීර හා නොයෙක් රන්විමන් හිරු දුටු කදෝපැණියන් සේ නිෂ්ප්‍රභ කෙරෙමින්, එයින් උඩ නැඟී අජටාකාශයෙහි ගැසි ගැසී සිටගත.

ශ්‍රීපාදයෙන් නිකුත් බුදුරස්කඳ ද, දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් මේ සා ඝන කඩ බොල් මහපොළොව විසුරුවාපු රන් පිඩැල්ලක් සේ කෙරෙමින්, යට සාරලක්‍ෂ අසූදහක් යොදුන් දියපොළොවට වැද, එයි දු රන්රසයක් සේ කෙරෙමින් එයින් යට නවලක්‍ෂ සැටදහසක් යොදුන් වාතමණ්ඩලයට බැස එයි දු රන්වන් කෙරෙමින් එයින් යට අජටාකාශයෙහි ගැසි ගැසී සිටගත. මෙසේ මාගේ ස්වාමිදරුවන්ගේ එක ශරීරයෙන් නිකුත් බුදුරස් කඳින් මේසා මුළුතුන්ලොව සුවහස් පහන් දැල්වූ පහන් රුකක් සේ දිලිහී ඉතා ශ්‍රීවන්ත වූ නියාවට, දෙවිබඹ කැලන් බුදුරසින් රැඳී සැදී ගිය නියාවට, කාලපර්වතයන් රන් පර්වතයන් සේ රන්වන් වූ නියාවට නානාවර්ණ වූ සත්ත්‍වයන් රන්වන් ව ඒකවර්ණ වූ නියාවට, අනික් උපමාවක් දැක්ක නො හෙමි. මුළුතුන්ලොව සියලු සත්ත්‍වයන් තමන් වහන්සේගේ අර්හත් ධජයෙන් එ දවස් ම සරහා ගත්තාක් වන්නැ යි කියා ම සිතමි.

එ වේලෙහි මෙසේ ගන්‍ධකුටිද්වාරයෙහි සඳරස් කලබක් සේ, හිරිරස් කලබක් සේ, අමාපිඩක් සේ, නිවන් පිඩක් සේ, ස්වාමිදරුවන් වැඩසිටි වේලෙහි අයමින් විතරින් දොළොස් යොදුනක හා සිසාරා සතිස් යොදනක් මානයෙහි තලමිටක් අහසට දැමූ කල අටකුත් බිම හී යා නො හැක්කා සේ, ගහනව සිටියා වූ ඒ සා මහපිරිස් අනිකක් බැලුවෝ නැත. අනිකක් සිතුවෝ නැත. අහෝ බුද්ධො යනාදීන් එකපැහැර දොහොත් මුදුන් දිදී සාධුනාද පූජා කළහ.

එ වේලෙහි සියලු සත්ත්‍වයන්ට උපන් සන්තෝෂ හා උපන් විස්මය හා ස්වාමිදරුවන් වැඩසිටි බුද්ධලීලා හා විශේෂයෙන් බලා නුවණැසින් දැක මා සිතට උපන් බුද්ධාලම්බන ප්‍රීති සේ ම සියලු සතුන්ට ම පෙනී ගියේ ය. සිතී ගියේ ය. දැනී ගියේ වී නම් සතර අපාය හඳුනන්නෝ කවුරු ද, දෙව්ලොව නො හඳුනන්නෝ කවුරු ද, මා වැනියන් වදාළ ද බිලිඳි වූ පස්ඇවිරිද්දෙහි බුදුසස්නෙහි ලා මෙවෙනි දහම් අමාවිලෙක සිත්සේ ගැලී සැනහී ඇවිදිනා සේ මට මේ සා වැඩක් සාදා දී මෝහයෙන් ප්‍රේම නො කොට නුවණින් ප්‍රේමකලා වූ මාගේ මවුපිය දෙදෙනා ආදි වූ සියලු සතුන්ට ම මෙවෙනි සන්තෝෂයක් උපදවා දීලිය හෙම්වයි, සියලු සතුන් සංසාරසාගරයෙන් ගොඩ නඟම්වයි, මෙසේ මාගේ ස්වාමිදරුවාණන් මට ම සන්තෝෂ කෙරෙමි යි වැඩසිටියා සේ, තුන්ලෝ තිලකයක් සේ, වැඩසිටි වේලෙහි බුදුන්ගේ අදහස් දත් කෝටිගණන් ශ්‍රාවකයෝ පෙළ පෙළ දී අවුත් බුදුන් සිසාරා රත්පළස් කඩතුරාවක් ඇද්දා සේ සැදී සිටගත්හ. එ වේලෙහි දෙවියෝ ආකාශයෙන් පරසතුමල් වැසි වැස්වූහ. දස දහසක් සක්වළ දෙවියෝ ආකාශයෙහි සිතියම් කඩක් ඇද්දා සේ පෙනි පෙනී දොහොත් මුදුන් දිදී සිට ගත්හ.

පෙළහර පාන්ට අවසර ඉල්ලීම

එ වේලෙහි ස්වාමිදරුවන්ගේ ශාසනයෙහි අනාගාමි වූ සෘද්ධිමත් ඝරණි නම් කුලස්ත්‍රියක් අවුත් බුදුන් වැඳ “ස්වාමීනි! මා බඳු වූ නුඹ දුවක විද්‍යමාන කල්හි නුඹ පෙළහර පෑ විඩාවනු නො යෙදෙයි. මම පෙළහර පවීමි”යි කීහ. එබසට බුදුහු උන් ලවා සිංහ නාද කරවනු කැමැති ව තෝ කෙසේ පෙළහර පව් දැ”යි වදාළ සේක. ස්වාමීනි! මම මේ මහ පොළොව දියපොළොවක් කොට සියදහස් යොදුන් මහ දිය කා වෙසක් මවාගෙන එහි පූර්වසක්වළින් සැලී පැළසක්වළින් නැඟෙමි. එයින් ගැලී උතුරුසක්වළින් නැඟෙමි. එයින් ගැලී දකුණුසක්වලින් නැඟෙමි. සක්වළගබ සිසාරා කර නඟ නඟා සියදහස් ගණන් වාරයෙහි ඇවිදීමි. එසේ ඇවිද ඇවිද සුවහස් ගණන් වෙස් මවා ඒ ඒ තැනින් ඉස් නඟා පවිමි. තෙපි කවුරු දැ යි විචාළ දෙවි බඹ කෙනෙක් ඇත් නම් තිලෝගුරු බුදුන්ගේ පාද රජස් ඉස්මුදුනෙන් පිළිගත් ඔබගේ අතවැසි දුවකිමි යි කියමි”යි කීහ. එවේලෙහි ස්වාමිදරුවෝ “තෝ එ බඳු වූ සෘද්ධිබල ඇතියෙහි ය. මේ බුදුන් ම පැව මනා පෙළහරෙක. ඒ තිට බැරිය. තෝ සිටැ”යි වදාළ සේක.

ඉක්බිත්තෙන් සුළු අනේපිඬු සිටාණෝ අවුත් බුදුන් වැඳ “ස්වාමීනි! එසේ වී නම් මම පෙළහර පවිමි”යි කීහ. තා පානා පෙළහර කියා බලගැ යි වදාළ සේක. ස්වාමීනි! මම ඇසිපියක් හෙළා නො ලන ඇසිල්ලෙහි අහස් කුසට පැන නැඟී මහපිරිස බල බලා සිටිය දී මාගේ මේ වෙස “අන්තර්ධාන කොට සත්ගවු සමාරක් දිග පතුල් ඇති, දොළොස් ගවු රියන් ඇති, සගවු වියත් ඇති සොළොස් ගවු මිණිඔටුනු ඇති, දොළොස් යොදුන් මහ බඹවෙසක් මවාගෙන එක් ඇඟිල්ලක් ඔසවා දහසක් සක්වළ අලුකෙරෙමින්, දසැඟිල්ලක් ඔසවා දසදහසක් සක්වළ අලුකෙරෙමින්, තුන්ලොවට ඇසෙන සේ අත්පොළසන් දි දී දිව්‍යමනුෂ්‍ය සේනාව වෙවුල්වා “සත්ත්‍වයෙනි! මම අනිකෙකිම් නො වෙමි. තිලෝගුරු බුදුන්ගේ එක්තරා එක් උවටාවෙකිමි”යි නුඹ බල කියමි යි කීහ. තෙපි දු සිටැ යි වදාළ සේක.

ඉක්බිත්තෙන් සත්ඇවිරිදි වයස් ඇති විරා නම් රහත් සාමණේරි කෙනෙක් සුවහස් ගණන් භික්‍ෂුණී සේනාව පිහිර පිහිරා රත්පියුම් වනයෙකින් පැන නැගි රන්වන් හංස රාජයක් සේ අවුත් බුදුන් වැඳ, අතුල් සුංදෙක හිස්මුදුනේ තබාගෙන “ස්වාමීනි! ස්වාමිදරුවාණන්ගේ ශාසනයෙහි ලද බිලිඳි කාලයෙහි රහත් වූ මා වැනි දුවක සිටිය දී ස්වාමිදරුවන් ප්‍රාතිහාර්‍ය්‍ය පානා සේ නො යෙදෙයි. ශ්‍රාවකයන් ප්‍රාතිහාර්‍ය්‍ය පානෙත් නො යෙදෙයි. මම් ම පෙළහර පවිමි. මට ම මේ පිරිස හද්‍ර මැනව. මම් ම තීර්ථකයන් ජයගනිමි. එ කල තීර්ථකයන්ගේ ලබ්ධි ගත් නොයෙක් ස්ත්‍රී සමූහයෝ ද, නොයෙක් ලදැරියෝ ද මාගෙන් ම පරාජය වන්නාහු ය” යි කීහ. එ වේලෙහි ස්වාමිදරුවෝ වෙස්සන්තර ජාතියෙහි කෘෂ්ණජිනා නම් දියණියන් කියන්නා වූ සුරතල් සේ, කරුණා සිත් ඇති සේක් “තී වයස් ඇති අවශේෂ වූ කුඩාකෙල්ලන් මවුන්ගේ තනයෙන් තව දක්වා තුඩු නො හැර කිරි බොන්නා සේ වුව. තෝ කුමන පෙළහරක් පවි ද, වැළි කියා බලගැ”යි වදාළ සේක.

එ වේලෙහි සාමණේරී දන්වන්නාහු “ස්වාමීනි! මිද්ධියගේ බල ස්වාමිදරුවන්ට දැනේ ම ය. එසේ ද වුවත් මම සක්වළ ගල හා හිමවුකුළ මහමෙර හා තුණ ලාලීවට තුණක් සේ මෙ තෙන ම සිට හයාගෙන ස්වාමිදරුවන් අභිමුඛයෙහි තබාලා මම රාජහංස ධේනුවකගේ වෙසක් ගෙන එක් පර්වතයෙකින් කිමිද, එක් පර්වතයෙකින් නැඟෙමි. ඒ පර්වතයෙන් කිමිද, අනික් පර්වතයෙන් නැඟෙමි. නැවත ඒ තුන් පර්වතය ම ලාලීලට තුණක් සේ අහසට දම දමා බිම හී යා නො දී ලාලිකෙළි නම් පෙළහරක් පවිමි”යි දැන්වූ දෑ ය. එ වේලෙහි ඒ සා මහ පිරිසින් සාධුකාර නුදුන් එකද සත්ත්‍ව කෙනෙක් නැත. සතුටු කඳුළෙන් නුවන් නො තෙමූ කෙනෙක් නැත. දරු ලද්දා වූ සුවහස් ගණන් කුලස්ත්‍රීන්ගෙන් නිකුත් සතුටු කඳුළු වතුරෙන් දිවන්නා වූ දඬුපරණලා සේ මිථ්‍යාදෘෂ්ටි ගත්තා වූ සුවහස් ගණන් ස්ත්‍රී පුරුෂයෝ ඒ ඒ දිග්හි පැරද දිවන්නට පටන් ගත්හ. ස්වාමිදරුවෝ “තී එ බඳුවූ පෙළහරක් පානා බවු සබා ම ය. මා පානා පෙළහර තිට බැරි ය. තොයි දු සිටැ”යි වදාළ සේක.

ඉක්බිත්තෙන් පිළිසිඹියා පත් රහත් වූ සත්හැවිරිදි චුන්‍ද නම් සාමණේරයන් වහන්සේ සඟපිරිස් පිහිරා ගෙන මහත් පියුම්වනයෙකින් පැන නැංගා වූ පියුම් කැකුලක් සේ පැනනැගී අවුත් පිට “ස්වාමීනි! මම පෙළහර පවමි”යි කී සේක. තා කරන පෙළහර ද කියා බලගැ යි වදාළ සේක. ස්වාමීනි! මම පන්සියක් යොදුන් උස හිමාලය පර්වතයෙහි සිටි සියක් යොදුන් මහදඹගස ඇතකු පිල අත්තක් අල්වා සලන්නා සේ සලා මහදිය කළ සා දඹ ගෙනවුත් මේ සතිස් යොදනෙහි සිටි මහපිරිස දඹ කවා නුඹ අඹ කැවුවා සේ ම මම ද සතුටු කරවා පියමි. තව ද: ශක්‍රදේවේන්‍ද්‍රයාගේ සියක් යොදුන් පරසතුගස කොබළීල අත්තක් සේ සලා ගවු දෙගවු සා මහත ඇති පරසතු මල්වැස්සක් වස්වා මහපිරිස විස්මයපත් කරවමි යි කී සේක. බුදුහු “තොයි දු එ බඳු ආනුභාව ඇතියෙහි ම ය. මා පානා පෙළහර තට බැරි ය. තොයි දු සිටැ”යි වදාළ සේක.

ඉක්බිත්තෙන් බුද්ධශාසන නමැති මහාසරසියෙන් පැනනැගී නීලොත්පල රාජියක් බඳු වූ සෘද්ධිමත් ශ්‍රාවිකාවන් කෙරෙහි අගතැන් පත් වූ උපුල්වන් මහා ස්ථවිරීන් වහන්සේ පන්සියයක් මේ හණින්නන් පිරිවරා අවුත් බුදුන් වැඳසිට ඡද්දන්ත නම් හස්තිරාජයා අභිමුඛයෙහි වූ සුභද්‍රා නම් කණේරුකාව සේ, කිසි භයක් නැති ව “ස්වාමීනි! අප වැනියන් සිටිය දී නුඹ වැනියන් පෙළහර පෑ දුක් ගන්නා කල අප සෘද්ධිමතුන් කෙරෙහි අගපැමිණීමෙහි ප්‍රයෝජන කිම් ද? මේ දසදහසක් සක්වළ රැස් වූ දෙවියන් පමණකට මම පෙළහර පවිමි”යි කී දෑ ය. බුදුහු “තී කරණ පෙළහරත් කියා බලගැ”යි වදාළ සේක. ස්වාමීනි! මම මේ මහපිරිස බල බලා සිටිය දී ආකාශයට පැන නැඟිලා “මා කරන පෙළහරක් බලව”යි තුන්ලෝ පුරා සිටි පිරිසට හඬගා කියාලා මාගේ මේ මෙහෙණිවෙස අන්තර්ධාන කොට මේ බිම පුරා සතිස් යොදනෙහි සිටි මනුෂ්‍ය සේනාව සේ ම මම ද සතිස්යොදනෙක සිටි සක්විතිපිරිසක් මවාලා මම සක්විති රජක්හුගේ වෙස් මවාගෙන ආකාශයෙහි සිට සත් රුවන පිළිවෙලින් නුඹවහන්සේ අභිමුඛයට මෙහෙය මෙහෙයා සත් පූජාවක් කොට අටවනු ව මම මහපිරිස හා සමග ආකාශයෙන් බැස නුඹවහන්සේ මැද වැඳ සිට මහත් වූ සක්විති රාජ නම් පූජාවක් කොට පෙළහර කෙරෙමි”යි කී සේක.

නැවත සෘද්ධිමතුන් කෙරෙහි අග්‍ර වූ මුගලන් මහතෙරුන් වහන්සේ ද පන්සියයක් සඟපිරිස් ගෙන අවුත් බුදුන් වැඳ සිට “ස්වාමීනි! මම පෙළහර කෙරෙමි. මා පෙළහර කළ හෙන නියාව සියලු දෙව්මිනිස්සු දනිත් ම ය. ස්වාමිදරුවන් වැඩ සිටිනේ යහපතැ”යි ආරාධනා කළ සේක. බුදුහු තොප කරන පෙළහර කියා බලගැ”යි වදාළ සේක. එ වේලෙහි “ස්වාමීනි! මම එක්ලක්‍ෂ අටසැට දහසක් යොදුන් මහමෙර අතින් මැඩ උඳැටක් සා කොට දත් හස්සෙන් සඟවා ගන්මි. දසදහසක් සක්වළ දසදහසක් මෙරගලුත් එසේ ම හයාගෙන වෙන වෙන ම දත්හයියෙන් සඟවා ගන්මි”යි කී සේක. අනික් කුමක් කෙරෙයි දැ යි වදාළ සේක. මේ සා මහ පොළොව පෝතාසි කළාලක් සේ හකුළා ඇඟිලි හස්සේ තබා ගන්මියි වදාළ සේක. අනික් කුමක් කෙරෙයි දැ යි වදාළ සේක. නැවත මෙම මහ පොළොව කුඹල්සකක් සේ පෙරළා යට තුබූ අමෘතය සියලු සතුන්ට බෙදා දීලමි යි කී සේක. අනික් කුමක් කෙරෙයි දැ යි වදාළ සේක. මේ සක්වළ මහපොළොව සක්වළගල මෙරගල හිමවු කුළ සත්කුලපවුවන් හා සමග එක අතෙකින් ඔසවා ගෙන අනික් සක්වළෙක ලාලමි. ඒ සක්වළ අනික් අතෙකින් ඔසවාගෙන මේ සක්වළ ලාලමි යි කී සේක.

නැවත කුමක් කෙරෙයි දැ යි වදාළ කල “මේ මහපොළොව පරණලා පතක් සේ ඔසවාගෙන මෙර මත්තෙහි තබාලා මහ මෙර කුඩදණ්ඩක් සේ කොට පත්කුඩයක් ගෙන සක්මන් කරන මහණ කෙනකුන්ගේ ලීලා දක්වමි යි කී සේක. එ වේලෙහි ස්වාමිදරුවෝ සිංහසේනාවකගේ ගර්ජනා අසන සිංහරාජයා සේ ශ්‍රාවකයන්ගේ පෙළහර සිංහනාද අසා “මුගලන් මහා ස්ථවිරය! මෙ තෙන ශ්‍රාවකයන් නිසා බඳනා මල්පුටයෙක් නො වෙයි. මෙ තෙන බුදුන් කරන පෙළහර ධුරය අනිත් උසුළාලිය හෙන කෙනෙක් නැත. මා ලොවුතුරා බුදු වූ කල් තබා අහේතුක වූ ආජානීය වූ වෘෂභරාජන් ව උපන් කල පවා මා අදිනා ගැල් ඇදලූ කෙනෙක් නැතැයි වදාරණ සේක් :-

යතො යතො ගරුධුරං - යතො ගම්භිරවත්තනිං,

තදස්සු කණ්හං යුඤ්ජන්ති - ස්වාස්සුදං වහතෙ ධුරං.

මනුඤ්ඤමෙව භාසෙය්‍ය - නාමනුඤ්ඤං කුදාචන,

මනුඤ්ඤ භාසමානස්ස - ගරුං භාරං උදද්ධරි,

ධනා ච නං අලබ්භෙසි - තෙන චත්තමනො අහූ යි.

යන මේ ගාථාද්වයෙන් කණ්හජාතක - නන්‍දිවිශාල ජාතක බණ වදාරා “මහණෙනි! තොප තොප පොහොසත් වුවත් තෙපි හැමදෙන සිටුව. බුදුන්ගේ සමත්‍රිංශත් බුද්ධකාරක ධර්මයන්ගෙන් අද පසළොස් වන ධර්මය සිද්ධවන දවස ය. අද මා පානා වූ පෙළහර මා සේ ම අනික් බුදුකෙනකුන් මුත් අන්‍ය සත්ත්‍වයක්හට බැරි වූ පෙළහරෙක. අද මහත් වූ ලෝවැඩෙක් වෙයි. බුදුන්ගේ පාරමිතා නැමති මග කප්රුක අමාඵලයන් දෙන දවසෙකැ”යි වදාරා ගඳ කිළිනිසවත්තෙන් ගන්‍ධමණ්ඩලමාලයකට බැස ආකාශය බලා වදාළ සේක.

එ කෙණෙහි සක්දෙව්රජ “මාගේ ස්වාමිදරුවන්ගේ පෙළහරට රැස් වූ ජනයන් හැමදෙනා ම ආතපාදියෙන් පීඩා නැති ව සිත් සේ පෙළහර බැලුව මැනැවැ”යි සිතා දිගින් පුළුලෙන් දොළොස් යොදුන් අවටින් සතිස් යොදුන් පමණ දිව්‍යමය වූ නිලුපුල් මණ්ඩපයක් මැවී ය. ඒ මණ්ඩපයෙහි සියලු දිව්‍යකර්මාන්ත අහස සඳමඬල පෙනෙන්නා සේ සත්ත්‍වයන්ට විශේෂයෙන් ම පෙනෙයි. දසදහසක් රන්මෙර රන්පා සේ තැනී ඒ මතුයෙහි එක්දහස් දෙසිය තුන්කෙළ පන්සාළිස් ලක්‍ෂයක් යොදුන් දිග ඇති මහ රුවන් සක්මනෙන් මැවී ගිය. එයි දු විශේෂයෙන් පෙනේ ම ය. එ වේලෙහි මහපිරිස එක පැහැර සාධුකාර දෙමින් ඔල්වරසන් දෙමින්, අසුරුසන් දෙමින් උතුරුසළු ඉස සිසාරමින් “කොල! මේ කිමෙක් ද, මේ කුමන පෙළහරෙක් ද, පෙර මේ වැන්නන් දුටු විරුවෝ කවුරු දැ”යි කියමින් අනිකක් බැලුවෝ නැත. අනිකක් සිතුවෝ නැත. අහෝ සාධු අහෝ සාධු යි යන සාධු නාදයෙන් උත්සවයට පටන් ගත්හ.

එ වේලෙහි ස්වාමිදරුවෝ උදයගිරි තලාවට පැන නැඟි සරාගිරි මඬල සේ සත්ත්‍වයන් ඇසිපිය මරා නො ලන ඇසිල්ලෙහි රුවන් සක්මනට පැන නැඟි සේක. එ වේලෙහි දු අවීචියෙහි පටන් භවාග්‍රය දක්වා ලෝකුස් පුරා සිට සියලු දිව්‍ය මනුෂ්‍ය සේනාව එක පැහැර සාධුකාර දී දොහොත් මුදුන් දුන්හ. එ කෙණෙහි දසදහසක් සක්වළ දසදහසක් ශක්‍රයෝ ද, දසදහසක් විජයතුරා සක් තුඩ තබාගෙන එකවිට ම දසදහසක් ශඞ්ඛධ්වනි පූජාවට පටන් ගත්හ. දසදහසක් සුයම් රජහු දසදහසක් දිව්‍යචාමර පවනින් බුදුන්ට සුවපහස් දෙමින් එක් පෙළෙක සිටගත්හ. දසදහසක් සන්තුෂිත රජහු හිරමඬුලු සේ දිලියෙන දසදහසක් මිණිතල් වැට ගෙන එක් පෙළෙක සිටගත්හ. දසදහසක් සුනිර්මිත රජහු රන්කැටපත් රිදී කැටපත් මිණි කැටපත් පූජා නොයෙක් පෙළහර ගෙන එක් පෙළෙක සිටගත්හ. දසදහසක් පරනිර්මිත රජහු රන්කරඬු රිදී කරඬු රුවන් කරඬු ආදි නොයෙක් මඟුල් පෙළහර ගෙන එක් පෙළෙක සිටගත්හ. දසදහසක් සක්වළ සතළිස් දහසක් වරම් රජදරුවෝ තමන් තමන්ගේ සතළිස් දහසක් දිව්‍ය සේනාව හා සමග නොයෙක් පූජා පෙළහරයෙන් අවුත් පෙළ පෙළ දී සිට ගත්හ. දසදහසක් සක්වල දසදහසක් සහම්පතී මහාබ්‍රහ්මරාජයෝ සඳමඬුලු සේ දසදහසක් සේසත් ගෙන අවුත් පෙළ පෙළ දී සිට ගත්හ. සෙසු දිව්‍යබ්‍රහ්මරාජයෝ ද දිවමල් දිවසුවඳ ආදීන් බුදුන් පුද පුදා තුන්ලෝ පුරා සිටගත්හ. දෙතිස් මහා පූර්වනිමිත්ත නම් වූ බුදුන්ගේ අද්භූත පූජාවෝ ද බුදු වූ දවස් සේ ම එ කෙණෙහි ම පහළවූහ.

බුදුහු යමා මහ පෙළහර දැක්වීම

එ කෙණෙහි ස්වාමිදරුවෝ පීත කසිණ සමාපත්තියට සමවැද සියලඟින් රස් කඳු හැර දසදහසක් සක්වළ අවීචිය පටන් භවාග්‍රය දක්වා පහන් ගබඩාවක් සේ ඒකාලෝක කෙරෙමින් “සියලු සත්හු දැන් සිත් සේ මා බලත්ව යි, ඔවුනොවුනු දු විශේෂයෙන් දකිත්ව”යි අධිෂ්ඨාන කළ සේක.

එ කෙණෙහි දෙවියෝ මනුෂ්‍යයන්ට පෙනෙති, මනුෂ්‍යයෝ දෙවියන්ට පෙනෙති, කුරුකුහුඹුවෝ මහබඹුන් දකිති, මහබඹු කුරුකුහුඹුවන් දකිති, බුදුහු සියලු සතුන්ට ම පෙනෙන සේක. සියලු දසදහසක් සක්වළ දශලක්‍ෂ සතිස්දහසක් නරකවල ගිනි නිවී පියුම් පිපී සිහිල් දියවිල් සේ විය. දසදහසක් සක්වළ සතළිස් දහසක් සමුද්‍රෙයහි සියලු ප්‍රාණීහු ම සිතියම ඇඳි මසුන් සේ කන්පත් වරල්පත් නො සොල්වා වැදහෙව බුදුසිරි බලන්නට පටන් ගත්හ.

එ කෙණෙහි ස්වාමිදරුවෝ එක චිත්තක්‍ෂණයෙහි ම තේජෝ ආපෝ කසිණ සමාපත්තියට සමවන් සේක. එකෙණෙහි නාභියෙන් මත්තෙහි තුන්ලෝ බබුළුවා මහ ගිනිකඳක් පැනනැංගා අධඃකායෙන් ආකාශ ගංගාව නික්මුණා සේ මහා ජලස්කන්‍ධෙයක් නික්මිණ. නැවත ගිනිකඳ නැගි පූර්වකායෙන් දියකඳ හෙයි, දියකඳ හුනු අධඃකායෙන් ගිනිකඳෙක් නැගෙයි. උකුණුවළ දිසාවෙන් දියකඳෙක් හෙයි, පෙරළී පිට දිසාවෙන් ගිනිකඳෙක් නැගෙයි, ශ්‍රී මුඛයෙන් දියකඳෙක් හෙයි, දකුණැසින් නාඹතල්කඳක් සා ගිනිකඳක් නැගෙයි. වම් ඇසින් නාඹ තල් කඳක් සා දියකඳෙක් හෙයි; නැවත වම්ඇසින් නාඹතල් කඳක් සා ගිනි කඳෙක් නැගෙයි, දකුණැසින් නාඹතල්කඳක් සා දියකඳෙක් හෙයි. දකුණු කන්සිදුරෙන් නාඹතල්කඳක් සා ගිනි කඳෙක් නැඟෙයි, වම් කන්සිදුරෙන් නාඹතල්කඳක් සා දියකඳෙක් හෙයි, නැවත ගිනි කඳු නැඟි තැනින් දියකඳ බස්සී, දියකඳ හුනු තෙනින් ගිනිකඳ නැඟෙයි. දකුණු දසරුයෙන් නාඹතල්කඳක් සා ගිනිකඳක් නැඟෙයි, මම්දසරුවන් නාඹතල්කඳක් සා දියකඳෙක් හෙයි, ගිනිකඳ නැඟී දසරුවෙන් දිය කඳ හෙයි, දියකඳ හුනු අතින් ගිනිකඳ නැඟෙයි.

නැවත දකුණු ශ්‍රීහස්තයෙන් නාඹතල්කඳක් සා ගිනිකඳක් නැඟෙයි. වම් ශ්‍රී හස්තයෙන් නාඹතල්කඳක් සා දියකඳෙක් හෙයි, ගිනිකඳු නැඟි අතින් දියකඳු හෙයි. දියකඳු හුනු අතින් ගිනිකඳ නැඟෙයි. නැවත දකුණු ශ්‍රී පාදයෙන් නාඹතල්කඳක් සා ගිනි කඳෙක් නැඟෙයි, වම් ශ්‍රී පාදයෙන් නාඹතල්කඳක් සා දියකඳ හෙයි, නැවත ගිනිකඳ නැගි පයින් කියකඳ හෙයි, දියකඳ හුනු පයින් ගිනිකඳ නැඟෙයි. නැවත එකි එකි ඇඟිලි අගින් නාඹ තල්කඳ සා විසි ගිනිකඳ නැඟෙයි, නැවත එම ඇඟිලි අගින් නාඹ තල්කඳ සා දියකඳ බස්සී. ඇඟිලි අසූ අස්සෙනුදු වෙන වෙන ම නාඹතල්කඳ සා ගිනිකඳ නැඟෙයි. නාඹතල්කඳ සා දියකඳ බස්සී. නවානූදහසක් ලෝමකූපයෙන් නවානූදහසක් ගිනිකඳ නැඟෙයි. නවානූ දහසක් දියකඳ බස්සි. නැවත හසුහසස්සෙනු දු එසේ එසේ ම ගිනිකඳ නැඟෙයි. දියකඳ බස්සී. මෙසේ හැඟෙන්නා වූ ගිනිකඳ දියකඳ හසුහස්සෙන් සවණක් බුදුරැස් නික්ම ඉන් ඊ වළඳිමින් ඉන් ඊ රැළි දෙවමින් කරකැවෙමින් මුළු සක්වළ මැඩ භව අග දක්වා නැඟෙයි. ගිනිකඳ දියකඳ භවඅග ගැසි ගැසී නැවත අවුත් සක්වළ ගල් මුවවිට ගැසී පරසක්වළ මැඩගෙන දිවෙයි. මෙසේ ම පැන නැඟී සවනක් රසුදු භවඅග ගැසි ගැසී නැවත බැස සක්වළ ගල් මුවවිට හී මුළු සක්වළ පුරාගෙන යන්ත්‍රනළින් මඩනා ස්වර්ණරසධාරා සේ මුළු සක්වල පුරා උතුරුවා දිවන්නේ ය. මෙසේ සත් රුවන් ගොණැස් උරවාලූ රුවන් කැණිමඬුල්ලක් සේ මුළු සක්වළ හෙබවූ සේක.

වෙන වෙන ම නීලපීතාදි සමවතට සමවදනා සේක. එක ක්‍ෂණයෙහි සමවත් දෙකකට සමවැදීමෙක් අවශේෂ වූ සෘද්ධිවන්තයන්ට අවිෂය ම ය. බුදුන්ගේ වනාහි බොහෝදවසක් වශීභූත කොට ආ හෙයින් භවාඞ්ගචිත්තය ඉතා සියුම් වන හෙයින් බුදුහු සමවත් දෙකක් සමවදිනා සේක. ක්‍ෂණ ක්‍ෂණයෙහි නොයෙක් සමවත් සමවදිනා සේක. එසේ හෙයින් මේ පෙළහර යමක යමක ව සමාපත්ති සමවැදීමෙන් බුදුන්ට ම ප්‍රතිහියත වූ යමා මහ පෙළහර නම් වීය. තුඩ නො හැර බණත් වදාරණ සේක. වදාරණ බණ තුන්ලෝ පුරා සිටි ඒ සා දිව්‍ය මනුෂ්‍ය සේනාවෙහි එකක් එකක්හුගේ සොළොස් සොළොස් ආකාරයක් බැගින් වෙන වෙන ම සිත් පරීක්‍ෂා කොට වදාරණ සේක.

මෙසේ තමන්වහන්සේගේ එක බුදුමහිමයට ම තුන්ලොව හෙලි කෙරෙමින්, පෙළහර පාමින් සිට එක ඇතකු නැංගා වූ නැවකට ඇතුන් දෙන්නකු නැඟුවා සේ අනික් බුදුකෙනකුන් මවා වදාළ සේක. දෙදෙනා වහන්සේ ම එක්වැනි වූ රූ ඇති සේක. එක් වැනි වූ කටහඬ ඇති සේක. එක්වැනි වූ පෙළහර ඇති සේක. එක් බුදුකෙනකුන් සක්මන් කරන කල එක් බුදුකෙනෙක් හිඳිනා සේක් හෝ ය සිටිනා සේක් හෝ ය. එක් බුදුකෙනකුන් විචාළ පැන එක් බුදුකෙනෙක් විසඳන සේක. එක් බුදුකෙනකුන් විසඳූ පැනයට එක් බුදුකෙනෙක් සාධුකාර දෙන සේක. මෙසේ ලොවට අද්භූත වූ යමා මහ පෙළහර දක්වා වදාරා දහම්වැසි වැස්වූ සමයෙහි විසිකෝටියක් සත්ත්‍වයෝ අමාමහ නිවන් දැක සංසාරසාගරයෙන් ගොඩනැගී නිවන් පුර මැද පීනා ගියහ.

මෙසේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ එක යමා මහ පෙළහර පූජාවෙහි ම මා විසින් දක්වන ලද්දා වූ චන්‍දනපාත්‍ර ප්‍රාතිහාර්‍ය්‍යයෙහි ලදුවා වූ නොයෙක් පෙළහර පූජා ය. එම පිණ්ඩොල භාරද්වාජ මහතෙරුන්ගෙන් ලද සම්‍යක් ප්‍රතිපත්ති පූජා ය. රජගහ නුවර සිට සැවැත් නුවරට වඩනා දෑතුරෙහි සාරමසක් මුළුල්ලෙහි දවසින් දවස ලදුවා වූ සියලු සත්ත්‍වයන් විසින් කරන ලද එක්සිය විස්සක් පමණ දවස් පූජා ය. කොසොල් රජහු සත් දවසක් මුළුල්ලෙහි දවසින් දවස කළා වූ ධර්මභේරිමඞ්ගල්‍ය පූජා ය. ගණ්ඩම්බ නම් උද්‍යානපාලකයා තමාගේ බල පරිද්දෙන් කළ අම්බඵල දාන පූජා ය, අඹරුක පොළොව පළාපැන නැඟි වේලෙහි ලදුවා වූ අද්භූත වූ මගුල් පූජා ය, පෙළහර කරන වේලෙහි සෘද්ධිමත් වූ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සදෙනාගෙන් ලද අසාධාරණ වූ සිංහනාද ප්‍රාතිහාර්‍ය්‍ය ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත වූ අෂ්ටාදශ ප්‍රතිපත්ති පූජා ය, සක්දෙව් රජහුගෙන් ලද දිව්‍යමණ්ඩප පූජා ය, දෙතිස් පූර්වනිමිත්ත පූජා ය, දසදහසක් සක්වළ අනූදහසක් දිව්‍යරාජයන් කළ අනූදහසක් දිව්‍යරාජ පූජා ය, දසදහසක් සක්වළ අරූතළ අසංඥතලයන් හැර එක්ලක්‍ෂ පනස් දහසක් බ්‍රහ්මරාජයන් කළ එම තෙක් බ්‍රහ්මරාජ පූජා ය යි දෙලක්‍ෂ සතළිස් දහස් එක්සිය දෙයාසූවක් පමණ මහාපූජාවන් ලත් හෙයිනුත් සඞ්ඛ්‍යාපථයට අවිෂය වූ අප්‍රමාණ වූ පූජාවන් ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි.

පූජාවිසෙසං සහපච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථො

අත්‍ථානු රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං - යි.

මේ පූජාවලියෙහි අප බුදුන් ගණ්ඩම්බ නම් රුක්මුල දී ලද

යමක ප්‍රාතිහාර්‍ය්‍ය පූජා කථා නම් වූ තෙවිසි වන පරිච්ඡේදය නිමි.

24. පාණ්ඩුකම්බලාසන පූජා කථා

දෙව්ලෝ බුදුහු විජම්බණ දෙසන්ට වැඩම වීම

තව ද: අප බුදුන් තවුතිසා භවනයෙහි දී සක්දෙව් රජහුගෙන් ලද පාණ්ඩුකම්බලාසන පූජා නම් කවර? යත්;

මෙසේ මාගේ ස්වාමිදරුවෝ තමන්වහන්සේගේ ප්‍රථම බෝධියෙහි පටන් බුදු වූ සත් වන අවුරුද්දෙන් ඇසළ මැදි පොහෝ ලද උත්‍රසළ නකතින් තීර්ථක මථන ය කොට රුවන් සක්මන දී අනන්තාපරියන්ත වූ බුදුන්ගේ වංශානුගත වූ ක්‍රමයෙන් යමා මහ පෙළහර දක්වා “පූර්වබුදුවරයෝ මේ පෙළහර දක්වාලා කුමක් කළෝ දෝ හෝ”යි බලා වදාරා “මෙයින් ගොස් ශක්‍රයාගේ පාණ්ඩුකම්බලාසන ය පිළිගෙන එහි ම වස් වසා විජම් දෙසුවාහු ය”යි සොළොස් වන බුද්ධකාරක ධර්මයන් දැක “මම ද ඒ ධර්මය නො වරදවා ම කෙරෙමි”යි සිතා දෙව්ලෝ නැඟෙමි යි තවුතිසා භවනය බලා දක්‍ෂිණ ශ්‍රී පාදය එලිපත මුදුනට පයක් නගන්නා වූ පුරුෂයකු ආයාසයක් නැති ව ස්වල්පයක් පය ඔසවන්නා සේ මුට්ඨිරතන ප්‍රමාණයක් ශ්‍රී පාදය ඔසවා වදාළ සේක.

එ කෙණෙහි ස්වාමිදරුවන් පූර්වබුදුවරයන් දැක නො එක් වාරයෙහි දන් දුන්නා වූ, ශයනාසන උපාහනාදි වූ නො එක් පින්බලයෙන් සුවාසූදහසක් යොදුන් උස ඇති යුගන්‍ධර පර්වතය හුයාපු වෙහේ බඩයක් සේ, සක්විතිරජකු දුටු චණ්ඩාලයකු සේ, නැමි නැමී අවුදින් ස්වාමිදරුවන්ගේ ඒ ශ්‍රී පාදය මුදුන් මල්කඩක් සේ තමා මුදුනෙන් පිළිගත. දෙවනු ව වාම ශ්‍රීපාදය ද එසේ ම මුට්ඨිරතනයක් තැන් ඔසවා වදාළ සේක. එ කෙණෙහි එක්ලක්‍ෂ අටසැට දහසක් යොදුන් උස ඇති මේරු පර්වත රාජයා ද එසේ ම ආදරයෙන් නැමී ඒ ශ්‍රීපාදය ද පිළිගත. මෙසේ මිනිස්ලොව පියවරෙක, යුගඳුරු මුදුනේ පියවරෙක, මෙර මුදුනේ පියවරෙකැ යි ශක්‍ර භවන යට තුන් පියවරෙකින් වැඩි සේක.

මාගේ ස්වාමිදරුවන් සංසාරයෙහි ඇවිදිනා කල පවා අලිනචිත්ත ජාතකයෙහි මවු කුසින් බිහි වූ දවස් ඔබ දුටු මඞ්ගල හස්තිරාජයන් පවා ආදරයෙන් නැමී තමන්ගේ කුම්භස්ථලයෙන් ඔබ පිළිගන්නා කල. පදුම ජාතකයෙහි දෙවිදත්හු ඔබ ගල්මුදුනෙන් දැමූ දවස් පවා නිරාස්පද වූ ආකාශයෙහි දෙවියන් අවුත් නැමි නැමී තමන් උරමඬලෙන් ඔබ පිළිගන්නා කල. එම ජාතියෙහි විෂ ඝෝර දිව්‍යනාගරාජයන් පවා තමන්ගේ එණගබින් ආදරයෙන් ඔබ පිළිගන්නා කල මණිචෝර ජාතකයෙහි ඔබට වධ පැමිණි කාලයෙහි ඒ වධ අන්තර්ධාන කොට ශක්‍රදේවේන්‍ද්‍රයන් පිළිගෙන මඟුලැතුන් පිටට වඩා රාජ්‍යශ්‍රීයට පමුණුවාලන කල. සස ජාතකයෙහි ඇඟ මස් දෙමි යි ගිනි මැදට පිනූ කල පවා ඔබට ගිනි සුව පහස් දෙවා පියුම් පැනනැඟී ඔබගේ පාදයන් පිළිගන්නා කල. එයින් සක් දෙව්රජුන් දිව්‍යහස්තයෙන් ඔබ පිළිගන්නා කල. ශඞ්ඛ ජාතකයෙහි ඔබ මුහුදු පීනා විඩා ව පිහිටක් සිතා ආකාශය බැලූ කල දෙව්දූන් අවුත් තමන් උරමඬලෙන් පිළිගෙන ඔබ දිව්‍යනෞකාවට වඩා පිහිට කරන කල. කට්ඨහාරි ජාතකයෙහි ඔබ ලද බිළිඳි කල පවා ආකාශයෙහි වැඩහුන් දවස් ඇමැතියන් ඔවුනො‘වුන් පරයා “අපි පිළිගනුම්හ. අපි පිළිගනුම්හ”යි ඔබ කරා අත් දිගුකරන කල ඒ පෙළහර දුටු බරණැස් රජ ඔබ තමන් ඇකයෙන් ආදරයෙන් පිළිගන්නා කල.

තව ද: චුල්ලපදුම ජාතකයෙහි ස්ත්‍රියක ව ඔබ ගලින් හෙළූ දවස් පවා හොරුදඬු සා ගොයින් දිව අවුත් පිට දී පා පිළි ඔවුන් ගන්නා කල. ඛදිරඞ්ගාර ජාතකයෙහි මර දෙව්පුතු මැවු නරක ප්‍රපාතයට ඔබ පා දිගුකළ දවස් මහ ගැල්සක් සා පියුම් නැඟී පියුම් කෙමියෙන් එ ශ්‍රී පාදයන් පිළිගෙන සුවපහස් දෙන කල. ගුත්තිල ජාතක, සායින ජාතක, නිමි ජාතකයෙහි දෙව්ලෝ නැඟෙමි යි සිතා ඔබ දක්‍ෂිණ ශ්‍රි පාදයන් එසවූ කල මාතලි නම් දිව්‍යරථාචාරීන් දිව අවුත් යෙළසියක් යොදුන් වෛජයන්ත රථ පෑ ඔබ පාදයන් පිළිගන්නා කල දැන් සමතිස් පැරුම් පුරා නිමවා ලොවුතුරා බුදුවූ සමයෙහි තමන් වහන්සේ මවුකුස පිළිසිඳ ගත් වේලෙහි, මවුකුසින් බිහි වූ වේලෙහි, මහබිනික්මන් කළ වේලෙහි, ලොව්තුරා බුදු වූ වේලෙහි, දම්සක් දෙසූ වේලෙහි, කිඹුල්වත දී යමාමහ පෙළහර පෑ වේලෙහි, ගණ්ඩම්බ නම් වෘක්‍ෂමූලයෙහි දී යමක ප්‍රාතිහාර්‍ය්‍ය පෑ වේලෙහි යනාදි වූ ඒ ඒ නො එක් බුදුමඟුලෙහි නළුවන් සේ නටා අත්බමරක් සේ භ්‍රමණය කළා වූ යුගන්‍ධර පර්වත මේරු පර්වත නැමි නැමී අවුදින් ඔබ ශ්‍රීපාදයෙන් පිළිගත් නියාවත් තුන් පියවරෙකින් දෙව්ලෝ පැන නැඟි බුද්ධමහිමය ත් මා සිතට කවර මහිමයෙකැ යි කවර විස්මයෙකැ යි කියම් ද, එසේ හෙයින් ඔබ සංසාරයෙහි කළ මහිම මහිම ය යි සිතමි. එසේ ද වුවත් මාගේ ස්වාමිදරුවන්ගේ ඒ බුදු මහිම දහම් අසමින් විශේෂයෙන් බල බලා හැම වේලෙහි ම මා වාසය කරන හෙයින් මට ද ඉතා ආශ්චර්‍ය්‍ය ය. සියලු සතුන්ට ද විස්මය ම ය. පෙළහර ම ය. ඒ සන්තෝෂයෙන් ජනිත වූ කුශලයෙන් මට ද එ බඳු වූ පෙළහරෙක් මට වාසනා ම වේව යි, ඒ ඇසූ සත්පුරුෂයෝ ද අමාමහ නිවන් දැක සංසාරසාගරයෙන් ගොඩ නැඟෙත්ව යි, ගැළවෙත්වයි, අපාය නො හඳුනත්ව යි, දෙව්ලොව ම හඳුනත්ව යි -

මෙසේ මාගේ ස්වාමිදරුවන් එදා දෙව්ලොව තුන්පියවරින් වැඩි කල්හි සක්දෙව්රජ සිතනුයේ “මාගේ බුදුහු තමාගේ පුරයට වැඩිසේක. මා උදෙසා වස් වසන අභිප්‍රාය ඇති සේක් වනැ”යි බුදුන්ට මාගේ ශක්‍රපුරයෙන් කෙතෙනක් පරීක්‍ෂා කරනුයේ තමා ඒකපුණ්ඩරීක නම් උයන් මැද පිහිටි සියක් යොදුන් පරසතු මදාරා ගස මුල සැටයොදුන් පාණ්ඩුකම්බල නම් ශෛලාසනය උතුම් සේ දැක, තව ද: “මේ අස්න ඉතා මහත, බුදුවූ කුඩා සේක. බුදුන්ට හොබී දෝ හෝ නො බෙී දෝ හෝ”යි සිත සිතා එසේ ද වුවත් ඊට වඩා අනික් උතුම් වූ ආසනයක් නැති හෙයින් “මා විසින් බුදුන්ට මාගේ උත්තම වූ ආසනය ම පිළිගන්වමි. බුදුන්ට ඒම සුදුසු ය”යි සිතා දෙ දෙව්ලොව දිව්‍ය සේනාව ගෙන බුදුන් පෙරමගට නොයෙක් දිව්‍ය පූජා භාණ්ඩ ගෙන ගොස් මහත් වූ පූජා පෙළහරින්, මහත් වූ උත්සවයෙන් බුදුන් වඩාගෙන ගොස් පාණ්ඩුකම්බලාසනය පිළිගැන්වී ය. එ කෙණෙහි ස්වාමිදරුවෝ දොළොස් රියන් බුද්ධ කායෙන් ආසනය මුල වැඩසිටි සේක් සක්දෙව්රජු හා ඒ සා මහත් දිව්‍යසේනාව හෙළූ ඇසිපිය නඟා නො ලන ඇසිල්ලෙහි පසළොස් යොදුන් උස ආසනය මුදුනෙහි අහස්කුස නැඟූ යන්ත්‍රපානක් සේ පෙනී වදාළ සේක. එවේලෙහි සිසාරා සිටි දිව්‍යසේනාව කර නඟා බුදුන් බල බලා සාධුකාර දුන්හ.

එ වේලෙහි ස්වාමිදරුවෝ සක්දෙව් රජහු සිතූ සිත දැන “මේ ශක්‍රයා තමාගේ අස්න මහතැ යි සිතී ය. මා කඩා ය යි සිතී ය. බුදුන්ගේ ආනුභාව මෝහට පළමුකොට දක්වාලමි”යි සිතාලා තමන් වහන්සේගේ සුගත් විතින් දිග නවවියත් පුළුල සවියත් තමන් වහන්සේගේ සඟළසිවුර විදා දිව්‍යසේනාව බල බලා සිටිය දී ම සතර පටින් පත්කොට; දිග දෙසිය සතළිස් ගවු, පුළුල දෙසියයක් ගවු, උස සැට ගවු, වටින් අටසිය අසූගව්වක් පමණ ඇති ඒ සා මහත් වූ ආසනයෙහි හෙළා ලූ සේක. එ කෙණෙහි මහ තෙලි සමක් කුඩා පුටුවක් වසා ලූවා සේ ආසනය සඟළ සිවුර සතර පටින් වැසී ගිය. දෙවියන්ට ආසනයෙන් කිසිවකුත් නො පෙනෙයි. බැලු බැලූ අත ම සඟළ සිවුර ම පෙනෙයි. එ වේලෙහි ස්වාමිදරුවෝ පලග් බැඳ ඒ ආසනයෙහි වැඩඋන් සේක. බුදුන්ට ආසනය හොබනේ ය. ආසනයට බුදුහු ම හොබනා සේක. බුදුන් දැක ආසනය කුඩා වූයේත් නැත. ආසනය දැක බුදුන් මහත් වූයේත් නැත. මෙසේ අචින්ත්‍ය වූ බුද්ධවිෂයයෙන් බුදුහු ඒ පාණ්ඩුකම්බලාසනයෙහි විරාජමාන ව මුළු සක්වළ නැඟූ දිවපහනක් සේ දිලිහි දිලිහි සියලු දෙවියන්ට ම පෙනෙන සේක. මේ සක්වළ ම නො වෙයි. දස දහසක් සක්වළ ම සිටි දෙවියන්ට ම පෙනෙන සේක. එ කෙණෙහි මේ සා දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මසේනාවට ස්වාමිදරුවෝ ම දිලියෙන සේක. කීයේ මැනෝ:

තාවතිංසෙ යදා බුද්ධො - සීලායං පණ්ඩුකම්බලෙ,

පාරිච්ඡත්තකමූලස්මිං - විහාසි පුරිසුත්තමො.

.

දසසු ලොකධාතුසු - සන්නිපතිත්‍වාන දෙවතා,

පයිරුපාසන්ති සම්බුද්ධං - වසන්තං නගමුද්ධනි.

.

න කොචි දෙවො වණ්ණෙන - සම්බුද්ධස්ස විරොචතී,

සබ්බෙ දෙවෙ අධිග්ගයහ - සම්බුද්ධො ව විරොචති - යි.

එ කල සර්වඥයන් වහන්සේ රුවන් සක්මනින් අන්තර්ධාන ව දෙව්ලෝ වැඩි කල බුදුන් නුදුටුවාවූ සතිස් යොදනෙක සිටි මහ පිරිසට හිර ගල හුනු කලක් සේ, සඳ ගල හුනු කලක් සේ, ලෝකාන්‍ධකාර වි ය. එ කල සත්ත්‍වයෝ:

ගතොනු චිත්තකූටං වා - කෙලාසං වා යුගන්‍ධරං,

න නො දක්ඛෙම සම්බුද්ධං - ලොකජෙට්ඨං නරාසභං.

.

පවිවෙකරතො ධීරො - න‘යිමං ලොකං පුනෙතීති,

න නො දක්ඛෙමි සම්බුද්ධං - ලොකජෙට්ඨං නරාසභං - යි.

යනාදි ගාථා කිය කියා “අප බුදුහු සිතුකුළු පව්වට ගියෝ දෝ හෝ, කෛලාසකූට පර්වතයට ගියෝ දෝ හෝ, යුගඳුරුමුදුනට ගියෝ දෝ හෝ, බුදුහු නම් විවෙක වාසය කැමතියහ. මේ සා මහ පිරිසක් මැදයෙහි මෙ බඳු වූ පෙළහරෙක් මා විසින් කරන ලදැ යි උපන් ලජ්ජා ඇති ව අනික් දිවයිනකට ගොස් සැඟැවී ගියෝ දෝ හෝ, අප බුදුන් කවර දවසෙක දකුමෝ දෝ හෝ”යි මහත් වූ විලාපයෙන් හඬාගෙන මුගලන් මහතෙරුන් වහන්සේ කරා ගොස් “ස්වාමීනි! අප බුදුහු කොයිදැ”යි විචාළහ. ඔබ තමන් වහන්සේට විශේෂයෙන් දැනෙතු දු නො කියා අනුරුද්ධ මහතෙරුන් වහන්සේගේ ගුණ ප්‍රසිද්ධ කෙරෙමි යි සිතා අනුරුද්ධ මහ ස්ථවිරයන් අතින් විචාරව” යි වදාළ සේක. එ කල මහපිරිස ගොස් අනුරුද්ධ මහතෙරුන් වහන්සේ අතින් විචාළහ. ඔබ වදාරණ සේක් “උපාසක වරිති! බුදුහු තවුතිසා භවනයෙහි වස් වැස දෙවියන්ට විජම් දෙස්නට වැඩි සේක. තුන් මසක් දෙව්ලොව වැස වප්මස මැදි පොහෝ ලද මහා පවාරණ දිනයෙහි මිනිස් ලොවට වඩනා සේකැ”යි වදාළ සේක. එ බස් අසා මහපිරිස “අප බුදුන් දුටු දවසෙක මුත් නො යම්හ”යි එම සතිස් යොදුන් බිම් අතුරු නො දී කඳවුරු බැඳ උන්හ. එතැන් පටන් සත්ත්‍වයන්ට ආකාශය ම ගෙහෙ වි ය.

සුලු අනාථ පිණ්ඩික සිටුහුගේ උපස්ථානය

එ කල සුළු අනේපිඬු සිටාණෝ “සත්ත්‍වයෙනි! මාගේ බුදුන් දක්නා තෙක් කිසි උකටලියක් නො වව. බත් බුලත් වස්ත්‍රාභරණ හෝනා හිඳිනා දෑ නො සොයා මේ සියල්ලම මාගෙන් ගනුව”යි පිරිස් කඳවුරු මැද බෙර ලවා එ තෙක් සත්ත්‍වයන්ට එ තුන්මස මුළුල්ලෙහි සියලු බත් බුලත් වස්ත්‍රාභරණ මල් සුවඳ නහන බොන පැන් ගිනි දර දක්වා තමන්ගෙන් ම සපයා දුන්හ. ඔවුන් අමිත භෝගී සිටාණ කෙනකුන් නො වත්, කෙසේ සපයා දුන්නු ද? යත්; බුදුන්-රහතුන්-දෙවියන්ගේ ආනුභාවයෙන් ම දුන්නැයි දත යුතු.

දවසෙක මහපිරිසට සියලු උපකරණ සම්භාර දුන් කල්හි සිටාණන්ගේ භාණ්ඩාර ගෙවල් පිසපුවා සේ සිස් වෙයි. එ කල බුදුන්ගේ ආනුභාවයෙන් රාත්‍රිය මුළුල්ලෙහි දෙවියෝ දිව අවුදින් ඒ සියලු භාණ්ඩාගාර ගෙවල් බළල්වා උතුරුවා සියලු සම්පත්තියෙන් පුර පුරාලා යෙති. සත්ත්‍වයෝ සිටාණන්ගෙන් ම දෙන ලද සම්පතැ යි සිත සිතා, සිටාණන් හා ලියන්නෝ දනිති. එහි අතුර සෙසු කෙනෙක් නො දන්නාහු ය.

එ තුන්මස මුළුල්ලෙහි මුගලන් මහතෙරුන් වහන්සේ මහ පිරිසට බණත් වදාළ සේක. සත්ත්‍වයන් විචාළ ප්‍රශ්නත් වදාරා හැම දෙනාටම උකටලියක් වැද්ද නුදුන්සේක. ඒ සා මහ පිරිස හුන්තෙන වේවයි මල ගන්‍ධයෙක් මුත්‍ර ගන්‍ධයෙක් වේවයි නොවී ය. උතුරුකුරුදිව සත්ත්‍වයන්ට සේ ම සියලු කුණප ම මහ පොළොවට ම අන්තර්ධාන වෙයි. දෙවියෝ ගඳ මහන් පව්වෙන් සුවඳ මඳ පවන් මෙහෙයා මහපිරිස සුවඳ පිඩක් සේ කොට හැම වේලෙහි ම සන්තෝෂ කරවති. ඒ තුන්මස මුළුල්ලෙහි ඒ සා මහ පිරිසින් ඔවුනො‘වුන් කෙරෙහි ආක්‍රොශ පරිභවයෙක් වේව යි, ඔවුනොවුන්ට අමනෝඥ වචනයෙක් වේව යි, ඔවුනො‘වුන්ට අමෛත්‍රීන් බැල්මක් බැලූ කෙනෙක් වේව යි නැත. හැම දෙන ම ඔවුනො‘වුන් කෙරෙහි දරුවන් දෙමවුපියන් කල්‍යාණ මිත්‍රයන් සේ මෛත්‍රී ම කළහ. ඒ තුන් මස මුළුල්ලෙහි සියලු සත්ත්‍වයන්ට ම කාමවිතර්කාදි පාප චේතනාවෙකු දු තමා ම නො වී ය. මේ සියල්ලම ඉද්ධ්‍යනුභාවයෙන් ම වීය යි දතයුතු.

ඉක්බිත්තෙන් බුදුරජාණන් වහන්සේ තුන්ලොවට නැගූ මහා ප්‍රදීපයක් සේ දිලිහි දිලිහී පාණ්ඩුකම්බලාසනයට නැඟී යට කී ක්‍රමයෙන් සද්ධර්ම ලීලාවෙන් වැඩහුන් කල්හි - පෙර මිනිස්ලොව දී සිල්වත් කෙනකුන් වහන්සේට එක බත් සැන්දක් පමණ පිළිගන්වාලූ ඉන්‍දක නම් දුගියෙක් ඒ පිණින් මිය ශක්‍රපුරයෙහි මහේශාක්‍ය ඉන්‍දක නම් දිව්‍යරාජයෙක් ව ඉපැද තමා ඇඟින් නිකුත් රසින් සියලු දෙවියන් අභිභවනය කොට වෙසෙයි. තවද මිනිස්ලොව දී දොළොස් යොදනක් මානයෙහි කැටින් කැට ගන්වා ලිප් බඳවා දස දහසක් හවුරුදු මුළුල්ලෙහි මුළු දඹදිව යාචකයන්ට අබුද්ධෝත්පාදයෙහි මහදන් දුන්නා වූ අංකුර නම් රජෙක් ඒ පිනින් මහේශාක්‍ය දිව්‍යරාජයෙක් ම නො එක් ශතසහස්‍ර දිවනළුවන් පිරිවරා උපන. මෙකී අංකුර නම් දිව්‍යපුත්‍රයා හා ඉන්‍දක නම් දිව්‍යරාජයා හා දෙදෙන ඔවුනො‘වුන් හා මන්ත්‍රණය කරන්නා වූ “අද බුදුහු පාණ්ඩුකම්බලාසනයෙහි වැඩහිඳ විජම් බණ වදාරණ සේක. එ විජම් නම් ඉතා දැඩි දෙයෙක් ල. බුදුන් ළඟ හිඳ අපි දෙදෙන සිත්හෙළා බණ අසම්හ, ඇසිල්ලෙකින් බොහෝ දෙවියෝ රැස්වෙති. එ කල අපට අවසර නො ලැබෙයි. අපි දෙදෙන පළමුව ගොස් බුදුන්ළඟ හිඳුම්හ යි මන්ත්‍රණය කොට දෙදෙන අත්වැල් බැඳ ගොස් ඉන්‍දක නම් දිව්‍ය රාජයා බුදුන් දකුණු දනමඬලට නුදුරුව හිඳ ගත. අංකුර නම් දිව්‍යරාජයා වම් දනමඬලට නුදුරුව හිඳගත.

එ කල බුදුන් ශක්‍රපුරයට විජම් දේශනාවට වැඩි බැව් අසා මාතෘ නම් පුරුෂ දිව්‍යරාජන් ව තුෂිත භවනයෙහි උපන් මෑණියන් වහන්සේ “ම පුතණුවන් වහන්සේගේ දහම් අමා මා සිත් සේ උකා බොන දවසෙක. මේ කප් ලක්‍ෂය මුළුල්ලෙහි නො එක් ජාති කෝටියෙහි මා ඔබට කළා වූ දරු ප්‍රේමයෙහි පල විඳගන්නා වූ දවසෙක. මහෞෂධ පණ්ඩිතත ව පවා උපන් කෙනෙහි මට දිව්‍ය වූ ඖෂධයකින් සංග්‍රහ කළ සේක. වෙසතුරු රජකළ මා කුසින් උපන් විගස ම සන්තෝෂයෙන් දෑස් දල්වා මා මුහුණ බලා “අම්ම! දන් දෙන වස්තුවක් මා අත තබව”යි මධුර වූ තෙපුල් කියා මා සිත් සැනසූ සේක. මේ ජාතියෙහි ලුම්බිනී වනයෙහි දී මා කුසින් බිහි වලා වැඩ සත් පියවරක් නඟා ගොස් මහත් වූ ජය සිංහනාද කොට මාගේ කන්හි අමාවතුර නැමූ සේක.

තෙසු ජාතිවල මට කළා වූ සුරතල් මෙතෙකැ යි පමණ නැත. දැන් ලොව්තුරා බුදු ව තුන්ලෝ මුදුන් වූ සමයෙහි මට මිහිරි වූ නිවන් අමා දෙන සේක. එහි රස බලම්හයි, සිරිබර පුතුන් වැදූ මෑණියන්ගේ සිරිකර කම් පවිමි”යි සිත සිතා තුන්ගවු උස දිව්‍ය ශරීරයෙකින් හා ගව්වක් උස මිණි ඔටුන්නකින් හා සැට ගැලක් පමණ දිව්‍යාභරණයෙන් හා ස්වලඞ්කෘත ව යහලක් සුවඳවිලවුන් දරා ලක්‍ෂ කෝටි ගණන් දිවනළුවන් පිරිස් පිරිවරා තුසී පුරෙන් බැස සියලු දෙවියන්ගේ ශරීරප්‍රභා නිෂ්ප්‍රභා කෙරෙමින්, පුතනුවන් වහන්සේගේ ශරීරප්‍රභාවෙන් හා තමන් වහන්සේගේ ශරීර ප්‍රභාවෙන් හා හිරු සඳු දෙදෙනාගේ රස් එකතෙ‘නට ගියා සේ ඒකාලෝක කෙරෙමින් අවුත් සියලු දිව්‍ය සේනාවට පළමු කොට පුතණුවන් වහන්සේගේ දක්‍ෂිණභාගයෙහි දොහොත් මුදුන් දී හිඳගත් සේක.

එ කෙණෙහි දසදහසක් සක්වළ සතළිස් දහසක් වරම් රජදරුවෝ ය, දසදහසක් ශක්‍රයෝ ය, දසදහසක් සුයම් රජහු ය, දස දහසක් සන්තුෂිත රජහු ය, දසදහසක් සුනිර්මිත රජහු ය, දසදහසක් පරනිර්මිත රජහු ය, එක් ලක්‍ෂ පනස් දහසක් මහාබ්‍රහ්ම රජහු යයි යනාදි සියලු දිව්‍යරාජසේනාව ම ඔවුනොවුන් පරයා දිව අවුදින් වන්හ. මෙසේ ආනුභාව සම්පන්න දෙවියන් එ ත් එ ත් අල්පේශාක්‍ය දෙවියෝ පසු බැස බැස ගොස් සමහරු සක්වළගල් මුදුනේ ගැහැටි ගැහැටී සිටිති. සමහරු යුගන්‍ධරාදි සත් කුලපවුවන් කරා පසු බැස එහි දු ගැහැටි ගැහැටී සිටිති. සමහර බලවත් දෙවියෝ පසු බැස බැස ලක්‍ෂයක් දහසක් සියයක් යොදුන් තෙන ගැහැටි ගැහැටී සිටිති.

යට කී දොළොස් යොදනෙක ලිප් බඳවා අබුද්ධෝත්පාදයෙහි නො සිල්වත් තෙනට දන් දුන් අංකුර නම් දිව්‍යරාජයා තමන්ගේ අබුද්ධෝත්පාදයෙහි පින් කළ අඩුවක් මිස, බොහෝ දානපරිත්‍යාග කළ මහ පින් බලයෙන් බුදුන් වම් දණමඬල සමීපයෙන් පසු බස්නේ බොහෝ තෙනක් නො ගොස් දොළොස් යොදනක් පමණ තැන් පසුබැස හුන්නේ ය.

යට කී සිල්වත් කෙනකුන් වහන්සේට එක බත් කෙනෙස්සක් පමණ දන් දුන් ඉන්‍දක නම් දිව්‍යරාජයා තමා කළ පින් මා හැඟි හෙයින්, තමා මහත් වූ ආනුභාව ඇති හෙයින් අඟලක් පමණ තෙනුත් නො සෙල්වී ම බුදුන් දකුණු දණමඬල සමීපයෙහි ම සිනා සිසී කිසි භයක් නැති ව හුන්නේ ය.

බුදුහු ඒ දිව්‍යරාජයන් දෙදෙනාගේ කුශල විභාගය පළමු කොට මේ දිව්‍යසේනාවට හඟවා සත්ත්‍වයන් දානයෙහි පළමු කොට පිහිටුවා පසුව විජම් දෙසමි යි සිතාලා දොළොස් යොදනෙක ගොස් හුන් අංකුර නම් දිව්‍යරාජයාට අංකුරය යි මහත් කොට හඬ ගා වදාළ සේක. ඒ ශබ්දය සක්වළගල් පරියන්ත ව බඹලොව ගසා සිටි දිව්‍යසේනාවට ම ඇසින. දෙවියන්ට ම මතු නො වෙයි. මිනිස් ලොව සියලු මනුෂ්‍යයෝ ද ඇසූහ. සැවැත් නුවර සතිස් යොදනෙහි සිටි මහ පිරිස බුදුන් අංකුර ය යි වදාළ බස අසා එකෙණෙහි කොල! අප බුදුන්ගේ කටහඬෙක. මුයෙන් නො බැනව”යි කියා දොහොත් මුදුන් දී දෙව්ලෝ බලා සිටියහ. එ වේලෙහි ස්වාමිදරුවෝ:

මහාදානං තයා දින්නං - අංකුර දීඝමන්තරෙ,

සුවිදූරෙ නිසින්නොසි - ආගච්ඡ! මම සන්තිකං - යි.

යන මේ ගාථාව සියලු සතුන්ට ම ඇසෙන සේ වදාරා “අංකුරය! පෙර තෝ දස දහසක් හවුරුදු දොළොස් යොදනෙක ලිප් බඳවා මහදන් දුන්නෙහි ය, දුර සිටින, මා ළඟට පලා වර, ඉන්‍දකයා සේ ම මා සමීපයේ හිඳ බණ අස. ඉන්‍දකයා දුන්නේ එක බත් සැන්දක් වුව තා කළ පින් බොහෝ වුව. මා ළඟට පළා වරැ”යි වදාළ සේක. එකල අංකුර නම් දිව්‍යරාජා හුනස්නෙන් පැන නැඟී බුදුන් වැඳ සිට:

අයං සො ඉන්‍දෙකා යක්ඛො - දජ්ජා දානං පරිත්තකං,

අතිරොචති අම්හෙහි - චන්‍දො තාරාගණෙ යථා - යි.

යන මේ ගාථාව කියා “ස්වාමීනි! පෙර මම අබුද්ධෝත්පාද කාලයෙහි ඉපැද සිල්වතුන් නොලදින් බොහෝ දාන පරිත්‍යාග කෙළෙමි. සද්ධු වූ කුඹුරෙක යාලක් වපුට පෑලක් ලබන්නා සේ නො සිල්වතුන් විෂයෙහි බොහෝ වූ පින් කොට ස්වල්ප වූ ආනුභාවයක් ලදිමි. තෙල ඉන්‍දක නම් දිව්‍යරාජයාණෝ සරු වූ කෙතෙක පෑලක් වපුට යාලක් ලබන්නා සේ නුඹ වහන්සේගේ බුද්ධෝත්පාදයෙහි සිල්වතුන් විෂයෙහි පමණ වූ පිනක් කොට අපමණ වූ ආනුභාව ලදින් අප හැම අභිබවා තරු මැද සඳ සේ දිලියෙන්නේ වේ ද ස්වාමීනි”යි කීය.

දානානිශංස කථා

එ වේලෙහි බුදුහු ළඟ හුන් ඉන්‍දකයන් බණවා “ඉන්‍දකය! තා කළ පිණු දු කියා බලගැ”යි වදාළ සේක. එ තෙම හුනස්නෙන් පැන නැඟී බුදුන්ට දොහොත් මුදුන් දී සිට “ස්වාමීනි! පෙර මම ඉන්‍දක නම් දුඃඛිතයෙක්මි. දොරින් දොර භික්‍ෂාටනය කොට ඇවිදුනා වූ මම එක් දොරෙක සිඟා සිටියෙමි. එ ගෙයි මනුෂ්‍යයෝ මා දැක උපන් මහා කරුණාවෙන් බත් සැන්දක් ගෙනාහ. එ වේලෙහි නුඹවහන්සේගේ සස්නෙහි අනුරුද්ධ නම් මහ තෙරුන් වහන්සේ ද පසු ව එ දොරට සිඟා වැඩිසේක. මම එ කල උන්වහන්සේ දැක මහත් වූ සැදෑ ඇති ව “පෙර පින් නො කෙළෙන් දුන් දුඃඛිත වීමි. දැන් මෙතෙන කිසි යම් පිනක් පුරා ගන්මි”යි සිතිාලා එ බත් සැන්ද ඔබගේ පාත්‍රයට පිළිගන්වාලීමි. එ පමණ පිනින් මෙ පමණ සැපතක් ලදුයෙම් වේද. මාගේ ශරීරයෙන් නිකුත් ප්‍රභා හැම දෙවියන් මැඩගෙන පවතිනා ලෙසුත් මා අභිමුඛයේ හිඳගෙන දේවතාවකු නැති නියාවත් මාගේ මහත් වූ දිව්‍යෙත්ජස හා පිරිවරත් බලා වදාළ මැනැවැ”යි කී ය. බුදුහු එ වේලෙහි:

විචෙය්‍ය දානං සුගතප්පසත්‍ථං

යෙ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ,

එතෙසු දින්නානි මහප්ඵලානි

බීජානි වුත්‍ථානි යතා සුඛෙත්තෙ - යි.

යනාදීන් දානවිභාගයෙන් බණ වදාළ සේක. හේ කෙසේ ද? යත්; දන් දෙන්නා වූ සත්ත්‍වයන් විසින් පළමු කොට ත්‍රිවිධ වූ චේතනාව පිරිසිදු කොට සිල්වතුන් වහන්සේ හැඳින පින් කෙත් වෙත බලා දිය යුත්තේ ය. තිරිසනුන් සියක්දෙනාට දුන් දානයට වඩා එක මනුෂ්‍යයක්හට දුන්නා වූ දානය ම අපමණ වූ විපාක දෙයි. එසේ වූ සාමාන්‍ය මනුෂ්‍යයන් ඒ සියක්දෙනාට දුන්නා වූ දානයටත් වඩා තිසරණ පිහිටි එක පුද්ගලයක්හට දුන්නා වූ දානය ම මහත් වූ විපාක දෙයි. තිසරණ පිහිටි ඒ සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා පන්සිල් රක්‍ෂා කරන්නා එක පුද්ගලයක්හට දුන්නා වූ දානය ම මහත් වූ විපක දෙයි. පන්සිල් රක්‍ෂා කරන්නා වූ ඒ සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා අටසිල් රක්‍ෂා කරන්නා වූ එක පුද්ගලයක්හට දුන්නා වූ දන් ම මහත් වූ විපාක දෙයි. අටසිල් රක්‍ෂා කරන්නා වූ ඒ සියක්දෙනාට දුන්නා වූ දානයටත් වඩා දසසිල් රක්‍ෂා කරන්නා වූ එක පුද්ගලයක්හට දුන්නා වූ දානය ම මහත් වූ විපාක දෙයි. දසසිල් රක්‍ෂා කරන්නා වූ ඒ සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා සතළිස් අගින් යුක්ත වූ සාමණේරසීලය රක්‍ෂා කරන එක හෙරණ පැවිද්දක්හට දුන්නා වූ දානය ම මහත් වූ විපාක දෙයි.

සාමණේර සීලය රක්‍ෂා කරන්නා වූ ඒ සියක්දෙනාට දුන්නා වූ දානයටත් වඩා කෝටියක් සංවරසීලය රක්‍ෂා කරන්නා වූ එක උපසම්පන්න භික්‍ෂුවක්හට දුන්නා වූ දානය ම මාහැඟි වූ විපාක දෙයි. උපසම්පන්න භික්‍ෂූන් ඒ සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා එක සෝවාන් පුද්ගලයක්හට දුන්නා වූ දැන් ම මහත් වූ විපාක දෙයි. සෝවාන් එක්සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා සෙදගැමි එක පුද්ගලයක්හට දුන්නා වූ දානය ම මාහැඟි වූ විපාක දෙයි. සෙදගැමින් එක්සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා අනාගාමි එක පුද්ගලයක්හට දුන්නා වූ දානය ම මාහැඟි වූ විපාක දෙයි. අනාගාමීන් එක්සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා එක රහත් කෙනකුන්ට දුන් දන් ම මාහැඟි වූ විපාක දෙයි. ඒ රහතුන් ඒ සියක් දෙනාට දුන් දානයටත් වඩා එක පසේ බුදුන් කෙනකුන්ට දුන්නා වූ දානය ම මහානිසංස මහාඵල වෙයි. පසේ බුදුන් ඒ සියක් දෙනාට දුන් දානයටත් වඩා එක ලොවුතුරා බුදු කෙනකුන්ට දුන් දානය ම අසංඛෙය්‍ය වූ, අප්‍රමේය වූ, විපාක දෙයි.

මේ ලෝකයෙහි ලොවුතුරා බුදුන්ට වඩා අග්‍ර දක්‍ෂිණෙය්‍ය පුද්ගල කෙනෙක් නැත්තාහු ම ය. යම් සෘද්ධිවන්ත කෙනෙක් සක්වළගබ සා බිමෙක මණ්ඩපයක් මවා එහි පසේ බුදුන් රහතුන් පෙළින් පෙළ අතුරු නො දී දනින් දන ගස්වා හිඳුවා චතුමධුර රසයන් දන් දුන්නාහු වී නම් ඒ සා මහත් වූ දානවිපාකය මාගේ බුදුන්ට එක දවසක් දන් දුන්නා වූ බත් කෙනෙස්සෙක්හි සොළොස් වන භාග්‍යයකුත් නො හඟනේ ම ය. එසේ හෙයින් මාගේ ස්වාමිදරු වූ බුදුහු ලොවට අග්‍ර වූ දක්‍ෂිණීය පුද්ගල සේක. එසේ වූ බුදුන්ට දුන්නා වූ දානයටත් වඩා බුදුපාමොක් සඟනට දුන්නා වූ සාංඝික දානය ම තාරකාවන්ට චන්‍ද්‍රයා අග්‍ර වූවා සේ ම ප්‍රභා සම්පන්නයන්ට සූර්‍ය්‍යයා අග්‍ර වූවා සේ ම, මනුෂ්‍යයන්ට රජුන් අග්‍ර වූවා සේ ම, ගංගාවන්ට සමුද්‍රය අග්‍ර වූවා සේ පින් කැමැත්තා වූ සත්ත්‍වයන්ට සාංඝික දානය ම අග්‍ර වූ විපාක දෙන්නේ ම ය. වදාළේ මැනෝ:-

අග්ගි හුත්ත මුඛා යඤ්ඤා - සාවිත්ති ඡන්‍දෙසා මුඛං,

රාජා මුඛං මනුස්සානං - නදීනං සාගරො මුඛං.

.

නක්ඛත්තානං මුඛං චන්‍දො - ආදිච්චො තපතං මුඛං,

පුඤ්ඤං ආකඞ්ඛමානානං - සංඝො ද්වෙ යජතං මුඛං යි.

තව ද: ඒ දානයටත් වඩා යමෙක් තුන් බෝ පිහිටි විහාරයෙක දොරකවුළු ඇතිකරවා කෙස්සෙන් දොර හැර සතර දිගින් වඩිනා මහා සඞ්ඝයා වහන්සේ සුව සේ සැතපෙන සේ ආවාස දානයක් කරවා දන් දුන්නාහට අසංඛෙය්‍ය වූ අප්‍රමෙය්‍ය වූ විපාක දෙයි. මේ හැම පිනටත් වඩා තුණුරුවනෙහි ප්‍රසන්න වූ සිතින් යමෙක් “තුණුරුවන් සරණ යෙමි”යි ශරණශීලයෙහි පිහිටියේ වී නම් අසංඛෙය්‍ය වූ අප්‍රමෙය්‍ය වූ විපාක දෙයි. ඊටත් වඩා යමෙක් ශරණශීලයෙහි පිහිටා පන්සිල් රක්‍ෂා කෙළේ වී නම් එහි පින් මහා ඵල මහානිසංස දෙයි. ඒ පිනටත් වඩා යමෙක් කිරි සිඳක් දෝනා ඇසිල්ලකුත් “සබ්බෙ සත්තා සුඛිතා හොන්තු”යි කියා සියලු සතුන්ට මෛත්‍රී භාවනා කෙළේ වී නම් එහි පින් මහාඵල මහානිසංස වෙයි. ඒ පිනටත් වඩා යමෙක් “අනිත්‍යය, දුඃඛ ය, අනාත්ම ය”යි තිලකුණු මෙනෙහි කෙළේ වී නම් එහි පින් මහාඵල මහානිසංස වෙයි. මේ ආදි කුශලයන්ටත් වඩා යමෙක් ධර්මදානයක් දුන්නේ වී නම් දෙවූයේ වී නම් එහි ම පින් මහානිසංස මහාඵල වෙයි. වදාළේ මැනෝ:-

සබ්බදානං ධම්මදානං ජිනාති

සබ්බං රසං ධම්මරසො ජිනාති,

සබ්බං රතිං ධම්මරතිං ජිනාති

තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාතී යි.

එසේ හෙයින් මේ ධර්මය නම් සත්ත්‍වයන්ගේ මොහඳුරු විදහා වැඩ අවැඩ දක්වන ලද හෙයින් සද්ධර්ම නිසා ම සත්ත්‍වයන්ට සංසාර සාගරයෙන් ගොඩනැගීම වන හෙයින් සියලු දානයට වඩා ධර්මදානය ම උතුම් ම ය යි දතයුතු.

ඉක්බිත්තෙන් මේ ආදි වසයෙන් වීචෙය්‍යදානයාගේ විභාගයෙන් පළමු කොට දානවිපාකය දිව්‍යමනුෂ්‍යයන්ට හඟවා බණ වදාළ සේක. එකල ඉන්‍දක-අංකුර නම් දිව්‍යරාජයෝ දෙදෙන සෝවාන් වූහ. අවශේෂ වූ බොහෝ දෙවියෝ ද මාර්ගඵල ලදහ. සතිස් යොදනෙහි සැවැත්නුවර සිටියා වූ මනුෂ්‍ය සේනාව ද බුදුන් එ පිරිස් මැද වැඩහිඳ වදාළා වූ බණ සේ ම ඒ බණ විශේෂයෙන් තමන්ටත් ඇසෙන හෙයින් විඳ විඳ අසා බොහෝ දෙන මාර්ග ඵලයට පැමිණ සාදුනාද පූජා කළහ. “අප බුදුහු නො පෙනෙන්නාහ. අප බුදුන්ගේ මිහිරි වූ කටහඬ ඇසුම්හ”යි යනාදීන් කිය කියා උත්සව කළහ.

එ කල තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සුවහස් පහන් දැල්වූ පහන්රුකක් මුදුනෙහි දිලියෙන මහාප්‍රදීපයක් සේ දසදහසක් සක්වළ දිව්‍යසේනාව මධ්‍යයෙහි දිලිහි දිලිහී බුද්ධමහිම දැක්වූ කල්හි එකල මෑණියන් වහන්සේ ප්‍රධාන වූ සියලු දිව්‍යසේනාව දොහොත් මුදුන් දී සිට “ස්වාමීනි! බුද්ධාන්තරයක් මුළුල්ලෙහි ලෝකයෙහි සැඟවී තුබූ අභිධර්ම නමැති රුවන් නිධානයෙහි නුඹවහන්සේගේ බුද්ධඥාන නමැති කෙස්සෙන් දොර හැර වදාළ මැනව. සයුරමැද ගමන්ගත් තිමිඞ්ගල නම් නම් මත්ස්‍යරාජයාගේ විලාස දක්වා වදාළ මැනව. ඒ කෙසේ වූ විලාසයෙක් ද? යත්; හේ තෙම මුහුද මැද තමා සරොයෙහි ගමන් ගත් කල දකුණු කම්පත සෙලවීමෙන් පන්සියක් යොදුන් තැන් මුහුද හළලා ගෙන, වම් කන්පත සෙලවීමෙන් පන්සියක් යොදුන් තැන් හළලා ගෙන, දකුණු වරල් තින් පන්සියක් යොදුන් තැන් හළලා ගෙන, වම් වරලිනු ද පන්සියක් යොදුන් හළලා ගෙන, වාලධිය ගැසීමෙන් පන්සියක් යොදුනෙහි දිය රැළි කවා ගෙන, ඉසිනු දා පන්සියක් යොදුනෙහි මහ රළකඳු ඝටා ගෙන යයි. තෙමේ ද පන්සියයක් යොදුන. දිගින් යෙළ දාසක් යොදුනේ හා පුළුලින් දසදහසක් යොදුන් හා මහමුහුද මහ සැළෙක කකියා නැගෙන දිය සේ හළලා ගෙන දිවෙයි. හෙ තෙම කියන කල “සත්ත්‍වයෝ මුහුද ගැඹුර ගැඹුරැ යි කියති. මාපිට ගැලී යන තරම් ගැඹුරු තෙනක් නො ලැබෙමි”යි යෙයි. මෙසේ වූ ඒ තිමිඞ්ගල නම් මත්ස්‍යරාජයා යුගඳුරු මුහුදු බැස සිත් සේ නික්මුනා වූ ලීලා දක්වා වදාළ මැනව. නුඹවහන්සේගේ අභිධර්ම නමැති මහ මුහුදට බැස වදාළ මැනව. ස්වාමීනි! නුඹ බුදු වූ දවස් පටන් පිපාසිතයන් පැන් පතන්නා සේ දෙවියෝ අභිධර්මාමෘතය කවර දවස් අපට දෙන සේක් දෝ හෝ යි ප්‍රාර්ථනා කෙරෙති. සියලු දෙවියන්ගේ සිත් පුරා විජම් දෙසා වදාළ මැනැවැ”යි ආරාධනා කළහ.

විජම් බණ දෙසීම

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ දසඑකඩ මසක් කුසින් උසුලා මහ පෙම් කළා වූ මෑණියන් වහන්සේ ආදි වූ සියලු දෙවියන් ඇස් නිවමින්, කන් නිවමින්, සිත් නිවමින්, බැණ නැගි බසින් ශ්‍රී මුඛයෙන් නිකුත් සුවඳින් මුළු සක්වළ සුවඳ කරඬුවක් සේ කෙරෙමින් “කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා”යි යනාදීන් සප්තප්‍රකරණයෙකින් යුක්ත වූ විජම් පිටකය හළලා අභිධර්ම දේශනාවට පටන් ගත් සේක. කෙසේ ද? යත්;

ස්වාමිදරුවෝ “අනන්තාපරියන්ත වූ බුදුන් දෙසූ අභිධර්මය නම් බුද්ධඥානයෙන් මුත් කිසිවක්හු විසින් දත නො හැකියේ ය. එසේ හෙයින් මේ දෙවියන්ගේ දිව්‍යඥානයට ද, බ්‍රහ්මඥානයට ද, අතිගම්භීර ම ය. දෙවියන්ගේ නුවණ පමණක් දෙසමි”යි සිතා මොහොතක් කල් සිතියම් කඩක් විදා පානා සේ, සියල්ලන්ට ම දැනෙන සේ, උත්තාන දේශනාවක් කරන සේක. එකල දෙවියෝ විශේෂයෙන් දැන් බුදුන්ට සාධුකාර දි දී “මේ අභිධර්මය නම් දැඩි දෙයෙකැ යි පෙර ශ්‍රැතපරම්පරාවෙන් අසා දනුම්හ. එසේ බවක් මිස අභිධර්මය දැඩි නො වෙයි. ඉතා උත්තානි ය. ඉතා සුභම ය. ඉතා මොළොක් දෙයෙකැ”යි සිත සිතා අසති. එ කල බුදුහු දෙවියන්ගේ සිත් බලා “අභිධර්මය දැඩි නියාව දෙවියන්ට වැළිත් හඟවා ලමි”යි සිතා දේශනා ලීලාව ක්‍රම ක්‍රමයෙන් දැඩි කරන්ට පටන් ගත් සේක. එ කල දෙවියන්ට ඡායාවෙන් පෙනෙන රූපයක් සේ සකසා නො දැනෙයි. සුඟක් සුඟක් දැනෙයි. එසේ ද උවත් මදින් මඳ සාධුකාර දිදී අසති. තව ද දැඩිකොට වදාරණ සේක; එකල දෙවියන්ට ස්වප්නයෙන් දුටු රූපයක් සේ ස්වල්ප ස්වල්පයෙක් දැනෙයි. නැවත අභිධර්මසාගරය දක්ව දක්වා බුද්ධඥානයට මුත් අවශේෂ වූ කිසිවක්හටත් නො දැනෙන සේ අභිධර්මදේශනාවක් කරන සේක.

එ කල සියලු දිව්‍ය බ්‍රහ්මයන්ට අඳුරු ගෙයකට වන්නා සේ කිසිවකුත් නො දැනේ ම ය. එ කල දෙවියෝ “බුදුන් වදාරන්නේ මේ කිමෙක්දෝහෝ”යි සිත සිතා ගලෙක ඉන්නක් ඇන්නා සේ කිසිවකුත් නො දැනෙන හෙයින් තුෂ්ණිම්භූත ව සිතියම් ඇඳී රූ සේ සිටිනාහු ය. එ කල ස්වාමිදරුවෝ දෙවියන්ට නැවත දැනෙන සේ වදාරණ සේක. එ වේලෙහි සාධුකාර දිදී අසති. පෙර සේ ම උත්තාන කොට වදාරණ සේක. නැවත නැවත ද වඩ වඩාලා සාධුකාර දි දී අභිධර්මය මොළොකැ යි සිත සිතා අසති. නැවත දැඩි කොට වදාරණ සේක. නැවත මෘදුකොට වදාරණ සේක. එසේ වදාරන්නා වූ බුදුහු රාත්‍රී දිවාභාගයෙහි ශිඝ්‍රගතියෙන් වදාරණ සේක. සෙසු ශ්‍රාවකයන් එක අකුරක් කියාලන ඇසිල්ලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ අට අකුරක් කියාලන සේක. ඔබ ඒකාක්‍ෂරයක් කියාලන ඇසිල්ලෙහි ධම්සෙනෙවි සැරියුත් මහතෙරුන්වහන්සේ අක්‍ෂරයන් අටක් පිරුවා පියන සේක. ඔබ එකාක්‍ෂරයක් කියාලන ඇසිල්ලෙහි බුදුහු අෂ්ටාක්‍ෂරයක් වදාරණ සේක. මෙසේ සාමාන්‍ය මනුෂ්‍යයන් එක බසක් කියාලන ඇසිල්ලෙහි බුදුහු පන්සිය දොළොසක් බස් වදාරා පියන තරම් ශීඝ්‍ර වූ වාග්ලීලා ඇතිසේක. මෙසේ ශීඝ්‍ර වූ දේශනා ඇති බුදුහු දිව්‍ය ඥානයට අතිශීඝ්‍ර කොට ම වදාරණ සේක.

බුදුන් පූර්වභක්තයෙහි කළ මනා බුද්ධකෘත්‍යය නිමවා පශ්චාද්භක්තියෙහි අර්ධචන්‍ද්‍රක පාෂාණයෙහි වැඩසිට ශ්‍රීපාදය ශෝධා පය දිය වියලෙන තෙක් එතෙනට රැස්වූ භික්‍ෂූන් වහන්සේට “මහණෙනි! බුද්ධෝත්පාද දුර්ලභ ය, මනුෂ්‍යාත්ම ලැබ ගැන්ම දුර්ලභය, ක්‍ෂණ සම්පත්ති දුර්ලභ ය, සද්ධර්මශ්‍රවණ දුර්ලභ ය, ප්‍රව්‍රජ්‍යා දුර්ලභ ය, බුද්ධදර්ශන දුර්ලභ ය, අප්‍රමත්ත වව, ත්‍රිවිධ වූ ශික්‍ෂාවන් සම්පාදනය කරව”යි යනාදීන් දවසින් දවස වදාරන්නා වූ සුගතෝවාද නව සංක්‍ෂෙප දේශනාව බුදුහු එ තුන් මස මුළුල්ලෙහි ශීඝ්‍රගතියෙන් වදාළා වූ අභිධර්ම දේශනාව විස්තර වශයෙන් පොත් සඞ්ගායනා කරතොත් මිනිස්ලොව සිට ඔබ වැඩහුන් දෙව් ලොව පාණ්ඩුකම්බලාසනය දක්වා පොත් ගොඩ කරන්නෙක් උස් තැනෙකැයි නො සිතයි. දැන් පොත් සංගායනා කරතොත් මැදුම් සඟිය පමණ වෙයි.

තව ද: මේ මිනිස්ලොවින් හවුරුදු සියයක් නම් ඒ දෙව්ලොවින් එක දවසෙක, ඒ නියායෙන් අපගෙන් සියක් හවුරුද්දට ඒ දෙවියෝ දෙසිය සොළොස් වාරයක් සුසුම් ලති, අපගෙන් මසෙක් නම් ඔවුන්ට අටළොස් සුස්මක් කළ, අපගෙන් දස දවසෙක් ඔවුන් සවාරයක් සුසුම් ලන කල, අපගෙන් පස දවසෙක් නම් ඔවුන්ට තුන් සුසුමක් කල, අපගෙන් සියක් පෑ ගිය කල ඒ දෙවියන්ට එක සුස්මක් කල; එසේ හෙයින් ඔහු මිනිස්ලොවින් හවුරුදු සියයකට දෙවාරයක් අනුභව කරන්නාහු.

එ කල අප බුදුහු “මිනිස්ලොව දී වැළඳුව මනා වේලෙහි, දෙව්ලොව දී වළඳන සේක් වී නම් දෙවියෝ “බුදුහු නම් කම සේ නැති ව බත් ම වළඳන්නාහ”යි විතර්ක සිතන්නාහු ය, එසේ හෙයින් බුදුහු මේ තුන්මස මුළුල්ලෙහි දිව්‍යසේනාවට නො හඟවා ම ආහාර කෘත්‍යය සම්පාදනය කළ මැනැවැ”යි සිතාලා මිනිස්ලොවට අරුණු නැගෙන වේලෙහි තමන් වහ්නසේ ම එක්වැනි වූ නිර්මිත බුදුකෙනකුන් මවා ඒ හස්නෙහි හිඳුවා “මාගේ දේශනා ලීලායෙන් ම මේ බුදුහු විජම්දේසනා කෙරෙත්වයි මේ දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මසේනාව අතුරෙන් කිසි දෙවිබඹකෙනෙකුත් මා මෙයින් බැහැර ගියාව නොදනිත් ව”යි අධිට්ඨාන කොටලා දෙව්ලොවින් අන්තර්ධාන ව පන්සීයක් යොදුන් හිමාලය පර්වතයට බැස එහි පනස් යොදුන් අනවතප්ත නම් මහාසරසියෙහි අනන්තාපර්යන්ත වූ බුදුන්ට ම නියමව තිබෙන සුගත් නම් මහතොටට බැස නාලිය දැවටි වළඳා මුඛ ශෝධනය කොට, සැටයොදුන් රත් ගල් තලා මුදුනෙහි කෙළවර පිහිටි සත් යොදුන් මහසල්ගස මුල වැඩසිට රත් වලාකඩෙකින් සඳමඬලක් වසන්නා සේ සුගත් මහ පවුල් සඟළ පෙරට වැඩසිටි කල්හි, බුදුන්ගේ සිත හා සමග පාත්‍රා ධාතුන් වහන්සේ ස්වකීය ස්ථානයෙන් ආකාසයට පැන නැගී ගොස් ශ්‍රී හස්තයට බස්නා සේක. එ කල පාත්‍රය දරා අසුරුසනක් කලින් උතුරුකුරු දිව්මැඩ දිව්‍යභෝජන පිළිගෙන නැවත වැඩ එම ශාලද්‍රැම මූලයෙහි ම වැඩහිඳ වළඳා වදාරණ සේක.

එ කල ධම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ සැවැත් නුවර දී යමා මහපෙළහර පෑ දවස් බුදුසස්නේ පැහැද තමන් වහන්සේ කෙරෙහි මහණ වූ පන්සියක් පමණ වග්ගුලි භික්‍ෂූන් ගෙන සකස්පුර දොර ගොස් එහි වස් විසූ සේක් බුදුන් වැළඳූ අන්ත වේලෙහි සකස්පුර දොරින් වැඩ බුදුන්ට පෙනී බුදුන් වැළඳූ පාත්‍රය සෝධා කළ මනා වත් කොට බුදුන් වැඳ එකත්පස් ව හිඳ “ස්වාමීනි! ඉයියේ පශ්චාද්භක්තයෙහි පටන් අද අරුණු නැගෙන මේ පන්සාළිස් පැය මුළුල්ලෙහි නුඹවහන්සේ දෙසූ දේශනා හා නිර්මිත බුදුන් කළ දේශනා හා මට වදාළ මැනැවැ”යි ආරාධනා කරන සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ “ශාරිපුත්‍රය! දෙවියන්ට කී ලීලායෙන් ඒ දේශනාව දැනු දු කෙරෙම් නම් එම තෙක් කල් කම් සේ වුව මැනව. එසේ කල දෙවියන්ට කරන දේශනාව පමා වෙයි. තට සංක්‍ෂේපයෙන් කියමි. විස්තර වසයෙන් ධරා ගනැ”යි වදාරා “ඉය්යේ මෙ තෙක් දේශනා කෙළෙමි. නිර්මිත බුදුහු මේ තෙක් දෙසූහ”යි සංක්‍ෂෙපනයෙකින් මොහොතක් කලින් වදාරා පියන සේක.

එකල සැරියුත් මහතෙරුන් වහන්සේ තමන් වහන්සේගේ අසාධාරණ වූ ශ්‍රාවක ඥානයෙන් බුදුන් එක නයින් වදාළා, තමන් වහන්සේ සිය දහස් ලක්‍ෂගණන් නය සිත සිතා ගෙන විශේෂයෙන් ම දරා ගන්නා සේක.

එ කල බුදුහු “තාගේ වග්ගුලි මහණුන් පන්සියය තෙලේ විශේෂයෙන් ම උගන්වව් ඔහුදු ඥානවන්තයහ. මතු මාගේ ශාසනයට මා හා තා හා ඉක්බිතිව සප්තප්‍රකරණ ආචාරී වන්නාහ”යි වදාරා දෙව්ලෝ වැඩ නිර්මිත බුදුන් අන්තර්ධාන කොට ඒ ධර්මාසනයෙහි පෙනී නිර්මිත බුදුන් දෙසමින් සිටි අඩුවෙහි පටන් දේශනාවට පටන් ගන්නා සේක.

සැරියුත් තෙරුන්ට විජම් බණ කියාදීම

එ කල සැරියුත් මහ තෙරුන් වහන්සේ ද, බුදුන් දෙව්ලෝ වැඩිකල තමන්වහන්සේ සකස්පුර දොර වැඩ ඒ පන්සියයක් වග්ගුලි භික්‍ෂූන් කැඳවා “ඇවැත්නි! අප බුදුහු මනුෂ්‍යයන්ට නො දැනෙන හෙයින් අභිධර්ම නමැති දේශනාවක් දෙවියන්ට දෙව්ලොව දී වදාරණ සේක. බුදුන් දවස දවස කළ දේශනාව දවස දවස මම ගොස් ඉගෙන ඉගෙන එමි. තෙපි හැමදෙනම දවසින් දවස මා අතින් උගන්වා ඉගෙන අවශේෂ භික්‍ෂූන්ට මතු විජම් පිටකයට ආචාරි වව” යි කියා තමන්වහන්සේ උගත් දෙය ඒ පන්සියයක් භික්‍ෂූන්ට වදාරණ සේක. ඔබ වදාළ පරිද්දෙන් ඒ වහන්දෑ ද නො වරදවා උගන්නා සේක. එ තුන්මස මුළුල්ලෙහි ම බුදුහු විජම් පිටකය විස්තර කොට වදාළ සේක. බුදුන්ගේ දේශනාව හා සමග සැරියුත් ස්වාමි නිමවා ඉගෙනත් වදාළ සේක. සැරියුත් ස්වාමීන් අතින් ඒ පන්සියයක් භික්‍ෂූන් වහන්සේත් ඉගෙන නිමවා වදාළසේක් ම ය. අභිධර්මය ඉගැන්ම හා සමග ම පන්සියයක් දෙනා වහන්සේ ම අමාමහ නිවන් දැක වදාළ සේක් ම ය.

මාතෘ දිව්‍යපුත්‍රයා සෝවාන් වීම

දිව්‍යඥානයට විෂය වූ මෙසේ වූ අභිධර්ම දේශනාවක් කෙසේ වූ, පින්බලයෙකින් බුදුන් දෙව්ලොව වැඩ හින්ද දී ම, දෙව්ලොව දී වදාළ බණ මිනිස්ලොව දී ම දරා ගෙන අමා මහ නිවන් දුටුසේක් ද? යත්: මෙකප තුන්වනු ව බුදුවූ කාශ්‍යප නම් බුදුන්ගේ ශාසනයෙහි එක්තරා එක් මහතෙරහු දෙදෙනෙක් විජම්පිටකය නිමවා දැන එක්තරා එක් පබ්භාරයෙක නිරන්තර ව වාසය කරන සේක් දෙදෙන ඔවුනොවුන් ලා විජම් නය සාකච්ඡා කොට පෘච්ඡා ප්‍රතිපෘච්ඡා වසයෙන් අභිධර්මය පිරුවානා සේක. එ කල පබ්භාරයෙහි වසන පන්සියයක් කිරිවවුලෝ ඒ අභිධර්ම ශබ්ද මාත්‍රයක් අසා ඒ පිනින් මිය පන්සිය පන්සිය දෙවඟනන් පිරිවරා දෙව්ලොව ඉපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි අපාය නො දැක, දිව්‍යසම්පත් විඳ අප බුදුන් සමයෙහි දෙව්ලොවින් චුත ව අවුත් සැවැත්නුවර පන්සියක් කුලවල පන්සියක් කෙළෙඹියන්ට දා ව ඉපැද වැඩි පූර්ව විශ්වාසයෙන් ම පන්සියක් දෙන එක් ව ශ්‍රී විඳ වර්ගබන්‍ධනයෙන් ඇවිදුනාහු බුදුන් යමාමහ පෙළහර පෑ දවස් බුදුන් කෙරේ පැහැද බුදුසසුන් වැද සැරියුත් ස්වාමීන් කෙරේ මහණ වී එක් ව ම මහණධම් පුරා එ ම බණ ඇසූ කුශලබලයෙන් මෙසේ විජම් පිටකය දරා ගෙන එම පිනින් අමාමහ නිවන් දැක සංසාර සාගරයෙන් ගොඩ නැංගාහ යි දතයුතු.

මවු උවටැන් පිළිබඳ ජාතක දේශනා

එසේ හෙයින් මෙහි මෙබඳු වූ විපාකයෙන් ඇතැයි විභාගයක් නො දැන, ධර්මයෙහි ශබ්දමාත්‍රාවක් ඇසූ කිරිවවුලන් පවා මෙ බඳු වූ දිව සැපත්, නිවන් සැපත්, සාක්‍ෂාත් කළ කල මෙහි මෙබඳු වූ විපාකයෙක් ඇතැයි කාරණා කාරණ දැන ශ්‍රද්ධාවෙන් බණ ඇසුවා වූ සත්ත්‍වයන්ට කලී විපාක වනාහි කා විසිනුත් කියා නිමවාගත නො හැකි නිසා ය. කීයේ මැනෝ;

සාරාසාර විවෙක භාව රහිතා පක්ඛීපි කිඤ්චාවිදූ

සුත්‍වා වග්ගුලියො රවං ව යතිනො පාලම්හි සජ්ඣායතො.

.

වින්‍දන්තා මහතිං සිරිං ධිතිහරං කාමග්ගීයං තප්ඵලා,

සම්පත්තා ජින සෙවීතං සිවපදං තුම්හාදිසෙ කා කථා, යි.

.

තං දෙව දෙවො දෙවානං - දෙවදෙවෙහි පූජිතො,

දෙසෙසි දෙවලොකස්මිං - ධම්මං දෙව පුරක්ඛතො - යි.

එ කල ඒ තුන්මස මුළුල්ලෙහි ප්‍රබන්‍ධ වූ විජම් දේශනාවෙහි අති ප්‍රසන්න වූ සක්දෙව්රජ පාණ්ඩුකම්බලාසනය ආදි වූ තමාගේ සියලු ශක්‍රසම්පත්තීන් පූජා කෙළේ ය. දසදහසක් සක්වළ දෙලක්‍ෂ සතළිස් දහසක් දිව්‍ය බ්‍රහ්මරාජයෝ ද. තමන් තමන්ගේ සක්වළවලට නො ගොසින් ප්‍රබන්‍ධයෙන් සිට බණ අසා දවසින් දවස අප්‍රමාණ ව පූජා කළාහු ය. අප බුදුන් බුදු ව වැඩහුන් මේ පන්සාළිස් හවුරුද්ද මුළුල්ලෙහි දසදහසක් සක්වළ දෙවියන් රැස් ව තුන්මසක් මුළුල්ලෙහි ප්‍රබන්‍ධ වූ පූජාවක් කළා වූ, මෙ බඳු වූ, සමාගමයෙක් අනික් කිසි කාලයෙකත් නො වී ය. මේ සමාගම ය නම් අනන්තාපරියන්ත ව බුදුන් ම එකි එකී වාරයෙක් ම ලබන්නා වූ ඒකාන්ත ධර්ම සමාගමයෙක් ම ය.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ දසදහසක් සක්වළ දෙවියන් රැස් ව පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි කළා වූ දවස දවස දෙලක්‍ෂ සතලිස් දහසක් ප්‍රමාණ පූජා බැගින් අනූදවසක් මුළුල්ලෙහි කළා වූ දෙකෙළ සොළොස් ලක්‍ෂයක් පමණ ඇති සඞ්ඛ්‍යා පථයට විෂය වූ, දිව්‍යරාජ පූජාවන් ලත් හෙයිනුත්, සඞ්ඛ්‍යා පථයට අවිෂය වූ සෙසු අප්‍රමාණ දෙවියන් කරන ලද අසඞ්ඛ්‍ය ගණන් දිව්‍යරාජ පූජා ම ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, සවුනේ නිමවා දත්, වියත් කම්හි මුදුන් පැමිණි, සත්ත්‍වයන්ගේ සිත් පමණ දේශනා ඇති, බලන්නවුන්ගේ ඇස් පහරණ රූපශ්‍රී ඇති, පුදන්නවුන්ගේ දැන පමණ සත්කාරයට සුදුසු වූ පින් ඇති, අසන්නවුන්ගේ කන්පුරා දෙසන දහම් අමා ඇති, එකච්චක්‍රවාළ ය මගුල්ගේ කොට ඇති, දශසහස්‍ර ලෝක ධාතු ජාතික්‍ෂෙත්‍ර කොට ඇති, කෙළලක්‍ෂය්ක ලෝකධාතු ආඥා ක්‍ෂෙත්‍ර කොට ඇති, අනන්තාපරිමාණ වූ ලෝකධාතු විෂය ක්‍ෂෙත්‍ර කොට ඇති, දෙවාති දේව වූ, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, මාගේ ස්වාමි දරු වූ, මාගේ ම බුදුරජානෝ මේ ආදි කාරණයෙනු දු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි.

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං - යි.

මේ පූජාවලියෙහි අප බුදුන් භවනයෙහි දී සක්දෙව් රජහුගෙන් ලද

පාණ්ඩුකම්බල ශෛලාසන පූජා කථා නම් වූ සූවිසි වන පරිච්ඡේදය නිමි.

25. දේවෝරෝහණ පූජා කථා

මුගලන් මහ තෙරුන් තව්තිසා දෙව්ලොවට වැඩමවීම

තව ද: අප බුදුන් සකස්පුර දොර දී දෙවොරෝහණ පූජා නම් කවර? යත්;

මෙසේ මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දී යමාමහ පෙළහර දක්වා එයින් නැඟී ශක්‍රදේවේන්‍ද්‍රයාගේ පාණ්ඩුකම්බලශෛලාසනයෙහි සත්වන වස, වසා දෙවියන්ට අභිධර්ම දේශනා කොට ඒ වස් අන්තයෙහි මහා පවාරණ දිනයට සත් දවසක් තුබූ කල්හි බුදුන් වඩනා තුරු සතිස් යොදනෙහි කඳවුරු බැඳ සැවැත් නුවර හුන් මහපිරිස වප්මස පුර අටවක් ලද පොහෝ දිනයෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ කරා රැස්වී “ස්වාමීනි! අප බුදුන් නො දැක්මෙන් දැන් අප හැමදෙනාට තෙයාසූ දවසෙක් අනික්‍රාන්ත විය. අප බුදුන් කවර දවසෙක දකුමෝ ද, අප බුදුහු කවර දවස් මිනිස්ලොවට වඩනා සේක් ද, ඒ අපට නියම දැන වදාළ මැනැවැ”යි කීහ. එ වේලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ “එ බැවින් මම බුදුන් කරා තවුතිසා භවනයට නැගෙමි යි මා නැඟෙන්නා බලා සිටුව”යි මහ පිරිසට කියාලා තමන් වහන්සේ සිටි තෙනින් ම දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළොව කිමිද ගොස් මෙර පත්ලෙහි දහසක් යොදුන් ත්‍රිකූටයන් දරාසිටි මහසාල පොළොවින් පැන නැගි ඉන්‍ද්‍රනීල සාගරයෙහි දිලියෙන්නා වූ ප්‍රවාලාංකුරයක් සේ දිලිහි දිලිහී වැඩසිට “මෙතැන් පටන් මා නැගෙන්නා වූ සියලු සත්ත්‍වයෝ ම විශේෂයෙන් දකිත්ව”යි අධිෂ්ඨාන කොට ලා එක්ලක්‍ෂ අටසැට දහසක් යොදුන් උස මහමෙර මහවිදුරු තොරපණසෙකින් සිදුරුකොට විද නගන්නා සේ කිමිද කිමිද නැඟෙන්නට පටන්ගත් සේක.

එ වේලෙහි ජම්බුද්වීපවාසී වූ සියලු සත්ත්‍වයන්ට ඉන්‍ද්‍රනීලයක් රත්හුයකින් අවුනා නඟන්නා සේ පෙනෙන සේක. අපරගොයාන ද්වීපවාසී සත්ත්‍වයන්ට ලොහිතඞ්ක මාණික්‍යයක් රත් පලස් හුයකින් අවුනා නඟන්නා සේ පෙනෙන සේක. උතුරුකුරු ද්වීපවාසී සත්ත්‍වයන්ට රත් මැණිකක් රත්හුයකින් අවුනා නඟන්නා සේ පෙනෙන සේක. පූර්වවිදේහ ද්වීපවාසී සත්ත්‍වයන්ට ස්ඵටික මාණික්‍යයක් රත් පලස් හුයකින් අවුනා නගන්නා සේ පෙනෙන සේක. මෙසේ සතර මහාද්වීපවාසී සත්ත්‍වයන්ට සතරමහ පෙළහරක් දක්ව දක්වා අහස්කුසින් නැඟෙන විදුලියක් සේ, විශේෂයෙන් ම සියලු සතුන්ට ම පෙනි පෙනී මහමෙර පලාගෙන නැඟෙන සේක.

එ කල සත්ත්‍වයෝ “අප මහ තෙරුන්ගේ පෙළහරක් බලව. අප මහ තෙරහු අප බුදුන්ගේ අනුජාත වූ පුත්‍රය, අනුබුද්ධයහ; අනුප්‍රාතිහාර්‍ය්‍ය ඇතියහ. අප මහ තෙරහු පන්සියයක් යොදුන් උස ඇති පළමුවන උරගාලින්‍දයට පැනනැංගහ. දෙවන ගරුඬාලින්‍දයට පැනනැංගහ. තුන් වන දානවාලින්‍දයට පැනනැංගහ. සතරවන යක්‍ෂාලින්‍දයට පැනනැංගහ. යොදනක් නැංගහ. දෙ යොදනක් නැංගහ. දසයොදනක් නැංගහ. සියක්යොදනක් නැංගහ. දහසක් යොදනක් නැංගහ. යුගඳුරු මුදුන ගෙවූහ. සවුමහරජය ගෙවූ. මෙර මුදුනට ආසන්න වූහ.” යනාදි වශයෙන් කිය කියා දොහොත් මුදුන් දිදී සාධුකාර දිදී දැල්වූ ඇසිපිය හෙළා ලිය නොහී, දැල්වූ කට පියාලිය නො හී, නැගූ සුස්ම හෙළාලිය නොහී, මහත් වූ සන්තෝෂයෙන්, මහත් වූ විස්මයෙන්, අසුරුසන් දෙමින්, සාධුකාර දෙමින්, දොහොත් මුදුන් දෙමින්, කොල මේ කිමෙක් දැ යි කියමින් පෙළහරින් මත් ව සිටිනාහු ය.

එ වේලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ මෙසේ වූ සතර මහ පෙළහරක් දක්වමින්, මුළුලෝ විස්මය පත් කරවමින්, මහමෙර කිමිද, බුදුන්ගේ ශ්‍රිපාදයෙහි තමන් වහන්සේගේ සිරස ස්පර්ශ කෙරෙමින් මහා ජම්බුවෘක්‍ෂ මූලයෙන් පැනනැගී ස්වර්ණාඞ්කුරයක් සේ දෙවි බඹ පිරිස් බබුළුවා බුදුන් සමීපයෙහි වැඩ සිටි සේක. එවේලෙහි ඒ දිව්‍යසේනාව මහ තෙරුන් වහන්සේ බුදුන් පෙරට ඉන්‍ද්‍රජාලයක් සේ පෙනීගිය පෙළහර දැක “අප මහ තෙරහු, මේ සා දිව්‍යසේනාවක් මධ්‍යයෙහි බුදුන් ළඟ කෙසේ ඇවිත් පෙනී ගියාහු දැ”යි තුන්ලෝ පුරා සාධුකාර දුන්හ.

එ වේලෙහි මහතෙරුන් වහන්සේ බුදුන් වැඳ නැවු තරුවට අනු වූ අරුන්‍ධතී තරුවක් සේ බුදුන්ට අනුව සිට “ස්වාමීනි! තුන්ලොවට ගුරු වූ බුදුරජාණෙනි! නුඹවහන්සේගේ අසාධාරණ වූ මහපෙළහර හා මනෝහර වූ දේශනාවෙහි මත් වූ මුළු දඹදිව සත්ත්‍වයෝ හස්තිකාන්ත වීණාවෙහි මහත් වූ හස්තිසේනාවක් සේ මේ තුන්මස මුළුල්ලෙහි ‘අප බුදුන් අද දකුම්හ. සෙට දකුම්හ’ යි විඩා වූහ. බුද්ධ දර්ශනයෙහි සත්ත්‍වයෝ අතිලෝභි වූහ. මිනිස්ලොවට වඩිනේ කවර දවස් ද, කෙසේ වූ ස්ථානයකට වඩිනා සේක්”යි විචාළ සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ “මුගලන් මහාස්ථවිරය! මෙයින් සත් දවසක් ගිය කල වප්මස මැදි පොහෝ දවස් සකස් පුර දොරට බස්මි. තොපගේ බෑනෝ ශාරිපුත්‍ර ස්ථවිරයෝ ද එහිම වස් විසූහ. තෙපි මාගේ ආනුභාවයෙන් ඒ මහ පිරිස ගෙන සකස් පුර දොර රැස්කරව”යි වදාළ සේක. එවේලෙහි මුගලන් මහතෙරුන් වහන්සේ නැවත බුදුන් වැඳ සමුගෙන එම මෙර මුදුනෙන් කිමිද පෙර සේම මෙර පත්ලට බැස ජල පොළොව ද, පස් පොළොව ද කිමිද ගොස් මහ පිරිස මධ්‍යයෙන් සරා හිරිමඬලක් සේ පැනනැඟි සේක.

බුදුන් දෙව්ලොවින් සකස් පුර දොරට බැසීම

එ වේලෙහි මහ පිරිස මහතෙරුන් වහන්සේට සාධුකාර පූජා කොට “ස්වාමීනි! අප බුදුන් කවර දවස් දකුමෝ ද, කුමක් වදාළ සේක් දැ යි විචාළහ. එකල මහතෙරුන් වහන්සේ “උපාසක ජනයෙනි! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක. බුදුන් දක්නා කැමැති කෙනෙක් එතෙනට රැස්වව”යි වදාළ සේක. ස්වාමීනි! ඒ සකස් පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් තැන් දැයි විචාළහ. උපාසක ජනයෙනි! මේ නුවරට තිස් යොදනෙකැ යි වදාළ සේක. එ වේලෙහි මනුෂ්‍යයෝ “ස්වාමීනි, මෙ තැනට රැස් වූ බාලදරුවෝ බෙහෙව. ජරා දුර්වලයෝ බෙහෙව. පයින් යා නොහෙන ශ්‍රි වන්තයෝ බෙහෙව. ඔහු එ තෙක් තැන් කෙසේ පලා යෙද්දැ යි විචාළහ. එ වේලෙහි මහතෙරුන් වහන්සේ “කිසිකෙනකුන්ටත් කිසි පීඩාවකු ත් නො වෙයි. දුරෙකැ යි නො සිතා මාගේ බුදුන්ගේ හා මාගේ ආනුභාවයෙන් හැම දෙනම නික්මෙව”යි වදාළ සේක. එ බස හා සමග ම මියර ලගුන් මහ වතුරක් සේ සහපිරිස එකවිට ම සෙලවී නික්මුනහ.

එ කෙණෙහි බුදුන්ගේ ආනුභාවයෙන් මහ පිරිස ආකාශයෙන් යන සක්විති පිරිසක් සේ ඉක්බිති ගෙයෙක මගුල් බලන්නට යන්නා සේ, කිසි පීඩාවකුත් නැති ව පතුල් බොලැට ගැහැටුමකුත් නැතිව යන්නාහු ය. සමහරු මුඛයෙහි තිබූ බුලතට සුණු වත තිස් යොදුන් මග ගෙවා ගොස් සකස් පුර දොර දී කෑහ. සමහරු ඉසකේ බැඳ බැඳ යන්නාහු ඔබ වන් කල ම බැඳ නිම වූහ. එක් කණෙක කර්ණාභරණ සැවැත් නුවරදී පැළඳ අනික් කණ සකස්පුර දොර දී පැලැන්දහ. ඔවුනොවුන් පරයා නික්මුණාහු එක් අතෙක හස්තාභරණ පැළඳ අනික් අත හස්තාභරණ සකස් පුර දොර දී ලූහ. ඔවුනොවුන් පරයා නික්මෙන සන්සලයෙහි සුවහස් අගනා මුත්හර කරට දමා කර බඳිනා පමුයෙහි යතුරු ගන්ව ගන්වා ගොස් වැද ගිය උත්තමාඞ්ගනාවෝ කෙතෙක් දෙනද. සත් මැද මුහුණ තෙල් ගගා එක් ඇසෙක අඳුන් ගා අනික් ඇස අඳුන් ගානා දෑ තුරෙහි ගොස් වැද ගියා වූ යෞවන ස්ත්‍රී කෙතෙක් දෙන ද. රන් කැටපත් වමතින් ගෙන තමන් මුහුණ වටට කැටපත් වට නපුරැයි විසුළු ගන්වන්නා සේ කැටපත් බල බලා සුවෙන් වැද ගියාවූ දෙවඟනන් බඳු වරඟනෝ කෙතෙක් දෙන ද.

අපි පසු ව මෝ දෝ හෝ අපි පසු ව මෝ දෝ හෝයි ඔවුනොවුන් පරයා නික්මුණු කල්හි එක් කණෙක සක්පත් තබා අනික් කණ සක්පත තන තනා ගොස් එ තැනට වැද ගියා වූ තැන සිටි යොවුන් සිටියෝ කෙතෙක් දෙන ද. එකල මලක් හිස ගන්වා අනික් මල මුකුලිත කොට කොට හිසට දිගු කරන දෑතුරෙහි දිඟුමග ගෙවා ගොස් වැඳ ගිය සල්ලාල ස්ත්‍රී පුරුෂයෝ කෙතෙක් දෙන ද, කිරි බොන දරුවන් වඩාගෙන නික්ම ‘තොපට දුක, දරුවන් මා අතට වඩාපියව’යි පුරුෂයන් දරුවන් කරා දෑත් දිගුකල කල්හි පියන් අතට දරුවන් වඩාලන දෑතුරෙහි ගොස් එ නුවර වැද ගියා වූ ජයම්පතිකාවරු කෙතෙක් දෙනද. දහසක් අගනා කසීසළු හැඳ දෙදහසක් අගනා කසීසළු කරට දම දමා යෙහෙන් ගොස් වැද ගියා වූ මත් බමුණෝ කෙතෙක් දෙනද.

පෙරැනිමි පැන පැන කීප පිම්මකින් සකස්පුර දොරට ගොස් “කොල! මේ කිමෙක්දැ”යි ඔවුනොවුන් මුහුණ බලා විස්මය පත්ව නැවත පෙරැනිමි පනින්නා වූ ලංඝිකයෝ කෙතෙක් දෙනද. නරු තන තනා පිළිහැඳ හැඳ එක් වල්ලක් හඹා ගන්නා දෑතුරෙහි හඹාම ගොස් එ නුවර ගියා වූ නළුවෝ කෙතෙක් දෙනද. සක් සින්නම් තුඩ තබා එක් දෙයලක් පිඹ තුන්වන ධ්වනිය නො නඟන තෙක් ගොස් වැද ගියාවූ ධ්වනිකයෝ කෙතෙක් දෙනද, රන් පැන, රිදී පැන, රන් කලස, රිදීකලස, රන් කොතලා, රිදී කොතලා, රන්ධජ, රිදීධජ එක් අතකින් ඔසවා ගෙන අනික් අතට මාරු නොකොට එක අත නො එලෙන තෙක් නොයෙක් පූජා භාණ්ඩ ගෙන කෙළ ගොස් වැදගියා වූ පින් සොඬ වූ සත්ත්‍වයෝ කෙතෙක් දෙනද. සත්තිස් යොදනෙහි අතුරු නොදී හුන් ඒ සා මහ පිරිස ඒ සැවැත් නුවර සිට තිස් යොදුන් මග ගෙවා පැනක් බී නො පියන ඇසිල්ලෙහි බුලතක් යොදා නො ගන්නා ඇසිල්ලෙහි කිසි පීඩාවක් නැතිව ස්වප්නයෙන් ගිය ගමනක් සේ ඒ සකස්පුර දොරට ගියා වූ ඒ ගමන් පෙළහර මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු බුදුරජාණන්ගේ මහත් වූ බුද්ධානුභාවයෙන් ම විය. එකල ඒ මහ පිරිස සකස්පුර දොරට වැද උපන් සන්තෝෂයෙන් උත්සව කෙළි කෙළ එ තැන්හි ද කඳවුරු බැඳ උන්හ.

එකල බුදුරජාණන් වහන්සේ වප්මස මැදි පොහෝ දිනයෙහි පාණ්ඩුකම්බලාසනයෙහිදී ම වස් පවරා එ දවස් සක්දෙව් රජහු කැඳවා “සක්දෙව්රජ! අප මිනිස්ලොවට ගියමනා කලැ”යි වදාළ සේක. එ වේලෙහි ශක්‍රදේවේන්‍ද්‍රයෝ “ගැත්තකුගේ ගෙයි වැස ස්වාමිදරුවක්හු යන කල ගැත්තහු විසින් කිසියම් සත්කාරයක් කොට පසුගමන් කළම්පාවේ ය. එසේ හෙයින් මම ද මාගේ බුදුන්ට මා ශක්ති පමණින් පූජාවක් කොට පසුගමනක් කෙරෙමි. බුදුහු මාගේ පුරයට වඩනා දවස් තුන් පියවරකින් බුද්ධානුභාවයෙන් වැඩි සේක. දෙවනුව මාගේ පුරයෙහි සිට වඩනා ගමන දිව්‍යානුභාවයෙන් වැඩියමනා ම ය. බුදුහු දෙව්ලොවට සත්ත්‍වයන් සිත් සේ නැගෙන සේ සද්ධර්ම නමැති සෝපානයක් ඉපැද වූ සේක. එසේ වූ බුදුන්ට මම දෙව්ලොව සිට මිනිස් ලොවට වඩිනා පරිද්දෙන් දිව්‍යසෝපානයෙකින් පූජාවක් කෙරෙමි”යි සිතා මෙරමුදුනෙහි පටන් සකස්පුර දොර දක්වා බුදුන් බස්නා සේ සත්රුවන් හිනක් මවා, දකුණැ‘ලයෙහි දෙවියන් පූජා භාණ්ඩ ගෙන බස්නා සේ රන්හිතක් මවා වමැ‘ලයෙහි රිදීහිනක් බ්‍රහ්මයන් සේසත් ගෙන බස්නා සේ මවාලී ය.

ඒ තුන් හින ම සුවාසූදහසක් යොදුන් පමණට වඩා බොහෝ වූ උස ඇත්තේ ය. හිනිඉස මෙරමුදුනෙහි වි ය. හිනිපාමුල් සකස් පුර දොර වී ය. බුදුන්ට මැවූ සත්රුවන් හිනෙහි එක් පෙත්තෙක් රිදීමය ය. එක් පෙත්තෙක් ප්‍රවාලමය ය. එක් පෙත්තෙක් දෑවාණමය ය. එක් පෙත්තෙක් ලෝහිතඞ්කමය ය. එක් පෙත්තෙක් මසාරගල්ලමය ය. එක් පෙත්තෙක් ඉන්‍ද්‍රනීලමය ය. එක් පෙත්තෙක් සත් රුවන්ම ය යි වෙන වෙන ම නිර්මිත වූ දිව්‍යකර්මාන්තයෙන් හොබනේ ය. ඒ අසාධාරණ වූ දිව්‍යසෝපාන තුන ම ඉන්‍ද්‍රචාප සේ සත්ත්‍වයන්ට විශේෂයෙන් පෙනේ ම ය. එ කල මනුෂ්‍යයෝ “කොළ! මේ කුමන පෙළහරෙක් ද, පෙර මෙසේ වූ පෙළහරෙක් දුටුවෝ ඇසුවෝ කවුරුදැ”යි කිය කියා දොහොත් මුදුනෙහි තබාගෙන තුන් ඉනෙහි කර්මාන්ත තමන් ඉනෙහි තුබූ දෙයක් සේ සිත් සේ බල බලා සාධුකාර දි දී සිටිනාහු ය.

එ වේලෙහි ස්වාමිදරුවෝ පාණ්ඩුකම්බලශෛලාසනයෙන් බැස බණ අසා සිටි දිව්‍යසේනාවට පින් දි, එම දිව්‍යසේනාව පිරිවරා මෙර මුදුනෙන්වැඩ, සත්රුවන්මය වූ දිව්‍යසෝපාන මස්තකයෙහි රුවන් ඇගෑයක් මුදුනෙහි වැටී අගෙක දල්වාපු දිවපහනත් සේ වැඩ සිට, “සියලු ලෝකධාතුයෙහි සත්ත්‍වයෝ ම මා දකිත්ව”යි අධිෂ්ඨාන කළ සේක. එ වේලෙහි අවීචියෙහි පටන් භවාග්‍රය දක්වා, භවාග්‍රයෙහි පටන් අවීචිය දක්වා, දසදහසක් ලෝකධාතු එකාඞ්ගන වි ය. දෙතිස් මහා පූර්ව නිමිත්ත නම් පූජාවෝ ද පහළ වූහ. සියලු සත්ත්‍වයෝ ම ආකාශයෙහි සඳ දක්නවුන් සේ බුදුරජාණන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා, අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයන් හා, අල්ලෙහි තුබූ මස්සෙක අකුරු දක්නවුන් සේ සිත් සේ බලන්නට පටන් ගත්හ. දෙවියෝ මිනිසුන්ට පෙනෙති, මිනිස්සු දෙවියන්ට පෙනෙති, මහබඹු කුරුකුහුඹුවන්ට පෙනෙති, කුරුකුහුඹුවෝ මහබඹුන්ට පෙනෙති, සුවහස් පහන් දැල්වූ පහන් ගබඩාවක් උඩින් යටින් බැලුවාහට සකසා පෙනෙන්නා සේ දසසහස්‍ර ලෝකධාතුයෙහි සියලු සත්ත්‍වයෝ ඔවුනොවුන් සිත් සේ බලන්නට පටන් ගත්හ. එ වේලෙහි ස්වාමිදරුවෝ මධ්‍යයෙහි මැවූ රුවන්හිත රුවන් පෙත්තෙහි ශ්‍රීපාදයෙන් ශ්‍රීපාදය තබ තබා ශ්‍රීපාදයෙහි අටතුරාසියක් මඟුල්ලකුණු සියලු සත්ත්‍වයන්ට දක්ව දක්වා බස්නට පටන් ගත් සේක.

එ කල සියලු සත්ත්‍වයෝ ම මිණිකැටපත් පෙනෙන්නා සේ දිලියෙන බුදුන්ගේ ශ්‍රීපාද දැක බුදුන් බස්නා ලීලා දැක “බුදුරජාණෝ රන්පෙත්තට බටසේක. රිදීපෙත්තට බටසේක. සුරක්ත වූ ශ්‍රීපාදය දැවාණපෙත්තෙහි තබා වදාළ සේක. අනික් ශ්‍රීපාදය ඉඳුනිල්මිණි පෙත්තෙහි තබා වදාළ සේක. ලෝහිතඞ්ක පෙත්තට බට සේක. මසාරගල්ල පෙත්තට බට සේක. සත්රුවන් හිනිපෙත්තට බට සේක. බුදුන් දකුණුපත්ල ඔසවන්නා බලව. වම්පත්ල ඔසවන්නා බලව. බුදුන්ගේ ශ්‍රීපාදයෙහි සක්ලකුණු බලව. සුවහස් දැවි පෙනෙන්නා බලව. ඡිද්‍රමුඛ පෙනෙන්නා බලව. ස්වස්තික පෙනෙන්නා ය. රුවන් පෙතිවල මහිමත් අප බුදුන්ගේ ශ්‍රිපාදවල මහිම බලව. අපට ම හොබනේම ය”යි කිය කියා මුව නො පොහොනා සේ සාධුනාද කෙරෙමින් සිටිනාහු ය.

එ කල ශක්‍රදේවේන්‍ද්‍රයා පක්‍ෂපාත වූ හුදියකු සේ ස්වාමිදරුවන්ගේ සුගත් සඟළ හා පාත්‍රය තමා ඉස්මුදුනෙහි තබාගෙන දෑතකින් ඒ පාත්‍රසිවුරු වහ වහා තමාගෙන අනික් දෑතින් තමාගේ විජයතුරා නම් සක තුඩ තබා පිඹ තුන්ලොවට ඇසෙන සේ මහත් වූ ශඞ්ඛනාදයෙන් බුදුන් පුද පුදා බුදුන්ට පළමු ව ලා බස්නේය. දසදහසක් ශක්‍රදේවේන්‍ද්‍රයෝ දස දහසක් විජයතුරාසක් පිඹිමින් දකුණැලයෙහි රන්හිත පෙති පෙත්තෙහි සිටගත්හ. දසදහසක් සුයම් රජහු ද දසදහසක් මිණි වාමරගෙන දසදහසක් මිණිපෙතිවල සිටගත්හ. දසදහසක් සන්තුෂිත රජහු ද දස දහසක් මිණිතල්වැට ගෙන, දසදහසක් රන්පෙත්තෙහි සිටගත්හ. දසදහසක් මිණිතල්වැට ගෙන, දසදහසක් රන්පෙත්තෙහි සිටගත්හ. දසදහසක් සුනිර්මිත රජහු ද එසේ ම පූජාභාණ්ඩ ගෙන දසදහසක් පෙත්තෙන් බසිති. දසදහසක් පරනිර්මිත රජහු ද මහත් වූ උත්සවයෙන් බුදුන් පුද පුදා බස්නට වන්හ. වාමභාගයෙහි රිදී හිතින් දසදහසක් සහම්පතී මහාබ්‍රහ්මරාජයෝ ද සදහසක් සඳ මඬුලු සේ සේසත් ගෙන බුදුන් පුද පුදා බස්නට වන්හ. අවශේෂවූ බ්‍රහ්ම රාජයෝ ද පෙනිපෙත්තෙහි සිට ගත්හ. මෙසේ දකුණැළයෙහි රන්හින සකස්පුර දොර පටන් මෙර මුදුන දක්වාම පෙති පෙත්තෙහි අතුරු නො දී සිටගත්තා වූ දිව්‍යසේනාව ඇගෑයෙක පහන් පෙළක් දිලියෙන්නා සේ එකාකාරයෙන් සිටගත්හ. වමැ‘ළයෙහි රිදීහින ද, පෙතිපෙත්තෙහි සිටගත්තා වූ බ්‍රහ්මසේනාව සකස්පුර දොර පටන් පෙරමුණ දක්වා ම එසේ ම එකාකාරයෙන් සිටියහ. ස්වාමිදරුවන් බස්නා වූ රුවන් හිනෙහි පය ගානාවූ එක ද දෙවියෙක් බඹෙක් නැත, සත්ත්‍වයන්ට එයි දු එක් පෙළහරෙක. එ කල ස්වාමිදරුවෝ ඒ දිව්‍යබ්‍රහ්ම සේනාව මධ්‍යයෙන් මුළු ලොව සාධුකාර දෙවමින් මෙසේ බස්නා සේක.

එ කල රන්හිතින් බස්නට තමන්ට අවකාශ නැති හෙයින් දසදහසක් පඤ්චශිඛදිව්‍යපුත්‍රයෝ තුන්හවු පමණ ඇති දසදහසක් බෙලුවාපාණ්ඩුනම් දිව්‍ය වීණා ගෙන, සුවහස්ගණන් තතින් සරහා ගවු පමණ දසදහසක් වීනා පඞ්ක්තීන් එක පැහැර බුදුගුණ ගායනා කෙරෙමින්, පනස් පනස් යොදනෙහි රඟමඬුලු බැඳගෙන පෙළ පෙළ දී බස්නට පටන් ගත්හ. දසදහසක් මාතලී නම් දිව්‍යරථාචාරීහු, දසදහසක් දිව්‍යඅශ්වයන් යෙදූ දසදහසක් වෛජයන්ත රථ ගෙන, නො යෙක් ධ්වජපතාකාදි පූජා පෙරහරින් අලඞ්කෘත කොට තමන් තමන්ගේ සුවහස් ගණන් දිව්‍යසේනාව ගෙන, පෙළ පෙළ දී බස්නට පටන් ගත්හ. දසදහසක් ඓරාවණ නම් දිව්‍යරාජයෝ තෙතිස් කුඹෙහි මවන ලද දළ හා, දළෙහි මැවු පොකුණු හා, පොකුණෙහි මැවු පියුම් හා, පියුම්පෙතිවල නටන දෙවඟනන් හා හා සමඟ, තුන්ලක්‍ෂතෙතිස් දහසක් සොඬ නඟා තුන්ලක්‍ෂ තෙතිස් දහසක් සේසත් බුදුන්සිරසට කෙරෙමින් ආකාශයෙන් පෙළ පෙළ දී බස්නට පටන් ගත්හ. සෙසු නට නටා දිව ගී කිය කියා, දිවවීණා ගගා, දිවකුලල් පිඹ පිඹ, බුදුන් පුද පුදා, බස්නා දෙවඟනන් හා දිවනළුවෝ මෙ තෙකැ යි පමණ නැත.[91]

මෙසේ නො එක් පූජා පෙළහරින් අහස්කුස මුළුල්ලෙහි දෙවියන් මැවූ දිවමඬු, දිවතොරණ, රුවන් ඇගෑ, පහන් ඇගෑ, ධජ, පුන්කලස මෙතෙකැ යි පමණ නැත. බුදුන්ගේ දහස්ගණන් ජය කාහල කිය කියා, ජයකාලම් පිඹ පිඹ, බස්නා දෙවියෝ මෙතෙකැ යි ගණන් නැත. දහවල් ආකාශයෙහි තරු පිපී ගිය. මහ පොළොවෙහි සත්රුවන් ඉපිල ගිය. මහමුහුද සිය දහස් යොදුන් දිග මත්ස්‍යරාජයෝ ඉපිල පැනනැඟී බුද්ධ ශ්‍රී විඳ විඳ බලනට පටන් ගත්හ. සියලු සතුන් ඇස් නිවී ගිය, සිත් නිවී ගිය, කන් නිවී ගිය.

එ වේලෙහි මාගේ ස්වාමිදරුවන්ගේ ඒ බුද්ධ ශ්‍රී හා බුද්ධමහිම හා බුද්ධානුභාව හා බුද්ධ පූජා දැක, අවස්ථා නො දැන. පිරූ පාරමිතාවක් නැති ව, අවිෂය දෙයක් බලව, නොදැන, මම බුදුවෙම්ව යි මම බුදු වෙම්ව යි නො පැතුවා වූ එකද සත්ත්‍වකෙනෙක් නැත. සියලු සත්ත්‍වයෝ මම බුදු වෙම්ව යි මම බුදු වෙම්ව යි කිය කියා වෙන වෙන ම ප්‍රාර්ථනා කළහ. එදවස් තබා මේ දවස් වී නමුත් ඒ මාගේ බුදුන්ගේ ඒ පෙළහරපූජාව හා, එ දවස් ඔබගේ බුද්ධානුභාව හා මා සිතට විශේෂයෙන් දැන් දැනී ගියා සේ සියලු සත්ත්‍වයන්ට විශේෂයෙන් දැන් දැනී ගියා නම් දැනුදු බුදුබැවුහ් ලෝභ නොකරනුවෝ කවුරු ද, එ බඳු වූ පුරුෂබල පරාක්‍රමයෙක් කවර නම් සත්පුරුෂ කෙනකුන්ට මිහිරි නො වේ ද, එයින් ස්වාමිදරුවන් එ දවස් ලද්දා වූ පූජා මහිම යනු බුදු ව කවර නම් සත්ත්‍ව කෙනෙක් සියක් දහසක් ලක්‍ෂයක් මුඛ මවා ගෙනත් කියා නිමවාලන්ට පොහොසත් වෙද්ද, මෙසේ අපරිමේය වූ බුද්ධලීලායෙත් රුවන් හිනින් බැස අනන්තාපරියන්ත වූ බුදුහුදු මෙසේ ම දෙව්ලොවින් බැස පළමු වන ශ්‍රීපාදය පිහිටුවා වැඩ සිටිනා අවිජහිත භූමියට බැස, සරත්හිරි මඬලක් සේ දිලිහි දිලිහී වැඩසිටි සේක.

අනන්තාපරියන්ත වූ බුදුන් ම යමාමහ පෙළහර පෑම ද, එයින් ගොස් තවුතිසා භවනයෙහි වස් විසීම ද, එහි දී දෙවියන්ට විජම් දෙසීම ද, දෙසූ බණ පළමු කොට අග්‍රශ්‍රාවක වූ මහතෙර කෙනකුන් දැරීම් ද, වස් අන්තයෙහි එම පූජාවෙන් දෙව්ලොවින් සකස්පුර දොරට බැස මෙම භූමියෙහි වැඩසිටීම ද, එ කෙණෙහි මහපිරිසට පළමුකොට එම අග්‍රශ්‍රාවක වූ මහතෙරුන් ගොස් බුදුන් වැඳ දොහොත් මුදුන් දී සිට බුදුන්ගේ ගුණ කිය කියා සිංහනාද කිරීම් ද, ඒකාන්ත වූ ධර්මතායෙක් ම ය.

සෙසු බුදුන් තබා දීපඞ්කර නම් බුදුන්මෙසේ ම මහ පූජාවෙන් දෙව්ලොවින් බැස අසූරියන් බුද්ධකායෙකින් මෙම භූමියෙහි දිලිහි දිලිහී වැඩසිටි දවස් මහපිරිසට පළමු කොට ගොස් සුමඞ්ගල නම් අග්‍රශ්‍රාවක වූ මහතෙර කෙනෙක් ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. කොණ්ඩඤ්ඤ නම් බුදුන් දෙව්ලොවින් බැස අට අසූරියන් බුද්ධකායෙකින් වැඩසිටි දවස් භද්‍ර නම් මහතෙරහු පළමු ව ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. මඞ්ගල නම් බුදුන්ට අට අසූරියන් බුදුබඳින් වැඩ සිටි දවස් සුදෙවු නම් මහතෙරහු ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. සුමන නම් බුදුන් එසේ ම රුවන් හිනින් බැස අනූරියන් බුදුබඳින් රන් මෙරක් සේ වැඩසිටි දවස් සරණ නම් මහතෙරහු ඔබ සරණ වැඳ සිටියහ. රේවත නම් බුදුන් එසේ ම දෙව්පිරිස් පිරිවරා බැස අසූරියන් බුදුබඳින් තුන්ලෝ තිලකයක් සේ වැඩසිටි දවස් වරුණ නම් මහතෙරහු පළමු ව දිව ගොස් ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. ශෝභිත නම් බුදුන් අටපනස්රියන් බුද්ධකායෙකින් එම භූමියෙහි බැස සිටි දවස් අසම නම් මහතෙරහු එ සමයෙහි වැඳ සිටියහ. අනෝම දස්සී නම් බුදුන් අටපනස් රියන් බුදුබඳින් කප් රුකක් සේ වැඩසිටි දවස් නිසභ නම් මහතෙර කෙනෙක් පළමු ව ගොස් වැඳ සිටියහ. පදුම නම් බුදුන් අට පනස් රියන් බුද්ධ කායෙකින් වැඩසිටි දවස් ශාල නම් මහතෙර කෙනෙක් ඔබ ශ්‍රීපාදය වැඳ සිටියහ. නාරද නම් බුදුන් අටාසූරියන් බුදුබඳෙකින් සරච්චන්‍ද්‍රයා සේ වැඩසිටි දවස් භද්‍රශාල නම් මහතෙර කෙනෙක් ඔබ ශ්‍රී පාදය වැඳ සිටියහ.

පියුමතුරා නම් බුදුන් අට පනස් රියන් උසින් තේජෝ කඳක් සේ දිලිහි දිලිහී දෙව්ලොවින් බැස වැඩසිටි දවස් දෙවෙල නම් මහතෙර කෙනෙක් ඔබගේ පතුල්වැඳ සිටියහ. සුමේධ නම් බුදුන් එසේ ම මහාපූජාවෙන් වැඩ තුන්ලොවට රසාඤ්ජනයක් සේ අටඅසූරියන් උසින් වැඩසිටි දවස් දෙරණ සේ ගුණ ඇති ශරණ නම් මහතෙර කෙනෙක් පළමු ව අවුත් ඔබගේ පා වැඳ සිටියහ. සුජාත නම් බුදුන් පනස් රියන් උසින් හිරිවිමනක් සේ වැඩසිටි දවස් සුදස්සි නම් මහතෙර කෙනෙක් ඒ බුදුන් පා වැඳ සිටියහ. පියදස්සී නම් බුදුන් අසූරියන් බුදුබඳින් රන්කඳක් සේ වැඩසිටි දවස් පාලිත නම් මහතෙර කෙනෙක් ඔබ පා වැඳ සිටියහ. අත්‍ථදස්සි නම් බුදුන් එසේ ම රුවන් හිතින් බැස අසූරියන් උසින් තුන්ලෝ පහනක් සේ වැඩසිටිදා ශාන්ත නම් මහතෙර කෙනෙක් ඔබගේ ශ්‍රිපාදය වැඳ ලෝකශාන්තියක් සේ වැඩසිටි සේක. ධම්මදස්සි නම් බුදුන් අසූරියන් කයින් දිව්‍යද්‍රැමයක් සේ වැඩසිටි දවස් පදුම නම් මහතෙර කෙනෙක් පළමුව බුදුන් වැඳ ස්තුති සිංහනාද කළහ. සිද්ධාර්ථ නම් බුදුන් සැටරියන් බුදුබඳින් බැස එම භූමියෙහි වැඩසිටි දවස් සම්බහුල නම් මහතෙර කෙනෙක් ඔබ ශ්‍රීපාද වැඳ ප්‍රියබාහුල්‍යෙයන් සිටියහ.

තිස්ස නම් බුදුන් දෙව්ලොවින් බැස සැටරියන් බුද්ධ කායෙකින් වැඩසිටි දවස් සන්තෝෂයෙන් මත් වූ බ්‍රහ්ම දේව නම් මහතෙර කෙනෙක් ඒ බුදුන් වැඳ සිටියහ. ඵුස්ස නම් බුදුන් විජම් බණ වදාරා මෙම දෙවෝරෝහණ පූජා ලදින් අට පනස් රියන් ශ්‍රීශරීරයකින් දිලිහි දිලිහී වැඩසිටි දවස් සුරක්‍ෂිත නම් මහතෙර කෙනෙක් ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. විපස්සි නම් බුදුන් අසූරියන් බුද්ධකායෙන් අසූ අනුබ්‍යඤ්ජනයෙන් දිලිහි දිලිහී වැඩසිටි දවස් ඛන්‍ධ නම් මහතෙර කෙනෙක් පළමුව ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. සිඛී නම් බුදුන් තුන්ලෝ සිඛි කෙරෙමින් රුවන් හිනින් බැස සැත්තෑරියන් බුද්ධකායෙකින් වැඩ සිටි දවස් අහිභු නම් මහතෙර කෙනෙක් සියලු පිරිස් අභිභවමින් අවුත් ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. වෙස්සභූ නම් බුදුන් එසේ ම බැස සැටරියන් උසින් තුන්ලෝ ප්‍රදීපයක් සේ දිලිසෙමින් වැඩසිටි දවස් සෝණ නම් මහතෙර කෙනෙක් ඒ ශ්‍රීපාද වැඳ සිටියහ. කකුසඳ නම් බුදුන් සතළිස් රියන් බුද්ධකායෙන් දෙවි බඹ පිරිස් මැදින් බැස සිටි දවස් විධුර නම් මහතෙර කෙනෙක් ඔබ ශ්‍රීපාද වැඳ ස්තුති පූජා කොට සිටියහ. කෝණාගමන නම් බුදුන් තිස් රියන් බුද්ධකායෙකින් ශ්‍රීමත් ව වැඩසිටි කල්හි සභිය නම් මහතෙර කෙනෙක් ඔබ ශ්‍රීපාද වැඳ වැඳ පළමු ව කථාකළහ. කාශ්‍යප නම් බුදුන් විසිරියන් බුද්ධකායෙකින් දිලිහි දිලිහී වැඩ සිටි දවස් තිස්ස නම් මහතෙර කෙනෙක් මහපිරිසට පළමු ව අවුත් බුදුන්ගේ ශ්‍රීපාදය වැඳ බුදුන් හා ප්‍රියකථා කළහ.

පෙර බුදුවරුන් පා වැඳි පරිදි

මෙසේ පූර්වයෙහි වූ අග්‍රශ්‍රාවකයන් කොට ආවා වූ සිරිතක් ම හෙයින්, මාගේ බුදුරජාණන් වහන්සේ ද දෙවොරෝහණ පූජාවෙන් දෙව්ලොවින් බැස රුවන් හිනිපාමුල පූර්ව බුද්ධ භූමියෙහි අෂ්ටාදශ හස්ත වූ බුද්ධකායෙකින් ශ්‍රීමත් ව වැඩසිටි වේලෙහි, සැරියුත් මහ තෙරුන් වහන්සේ ද මහ සෙනඟට පළමු ව බුදුන් පෙරටු ගොස් සිට බුදුන්ගේ ශ්‍රීපාදමූලයෙහි හිස තබා වැඳ නැගී සිට දොහොත් මුදුනෙහි තබාගෙන,

න මෙ දිට්ඨො ඉතො පුබ්බෙ - න‘ස්සුතො උද කස්සචි,

එවං වගගුවදො සත්‍ථා - තුසිතා ගණිමා‘ගතො - යි.

යනාදීන් බුදුන්ට ස්තුති කොට “තුන්ලෝ මුදුන් වූ බුදුරජාණෙනි! නුඹ වැනි වූ නිවන්මැහැනි කෙනකුන් ලදිමි. නුඹ සේ වූ නිවන්පියාන කෙනෙකුන් ලදිමි. නුඹ සේ වූ ගුරුකෙනකුන් ලදිමි. නුඹ සේ වූ කල්‍යාණමිත්‍රකෙනකුන් ලදිමි. නුඹසේ වූ දිව්‍යනේත්‍රයක් ලදිමි. නුඹසේ වූ තිලකාභරණයක් ලදිමි. නුඹසේ වූ මුදුන් මල් කඩක් ලදිමි. නුඹසේ වූ චූඩාමාණික්‍යයක් ලදිමි. නුඹසේ වූ ලයක් ලදිමි. නුඹසේ වූ රක්‍ෂාස්ථානයක් ලදිමි. නුඹසේ වූ චින්තාමාණික්‍යයක් ලදිමි. නුඹසේ වූ භද්‍රඝටයක් ලදිමි. නුඹසේ වූ කල්පද්‍රැමයක් ලදිමි. නුඹ සේ වූ නේත්‍රාඤ්ජනයක් ලදිමි. මේ මේ කාරණයෙන් මා සේ වූ භාග්‍යවන්තයෝ නැත. ස්වාමීනි! අද නුඹවහන්සේගේ මේ බුද්ධශ්‍රී බලා බුදුවෙම්හ යි නො පැතූ එක ද දිව්‍ය-මනුෂ්‍ය කෙනෙක් නැත. මෙ දසදහසක් සක්වළ රැස්වූවවුන් අතුරෙන් සියලු දිව්‍ය සේනාව හා සතිස් යොදනෙහි සිටි මහපිරිස නුඹවහන්සේ කෙරෙහි අතිප්‍රසන්න වූ බොහෝ දෙන ම බුදුබැවු පැතූහ. ස්වාමීනි! ඔහු හැම දෙන ම මතු බුදුවෙත්දැ”යි විචාළ සේක.

එ වේලෙහි බුදුහු “ශාරිපුත්‍ර ස්ථවිරය! බුදු වම්හ යි පැතූ සියල්ලවුන්ට ම බුදු බැවු සිද්ධවන්නේ ම වේ දැ”යි වදාළ සේක. එ කල සැරියුත් මහ තෙරුන් වහන්සේ “ස්වාමීනි! පාරමිතා නුපුරා පූර්ව හේතුවක් නැති ව, මෙ පමණ සන්තෝෂයකින් කළා වූ ප්‍රාර්ථනාව ගෙන බුදුවන්නේ කෙසේ දැ”යි විචාළ සේක. එහි විභාග මෙසේ දතයුතු.

බුදුබැව් පැතුවන්ට එය සිදුවන පරිදි

මේ ලෝකත්‍රයෙහි කළ මනා සියලු ප්‍රාර්ථනාවෙන් බුදුවෙම් ව යි ප්‍රාර්ථනා කිරීම නම් වීර්‍ය්‍ය ඇත්තාහටත්, නැත්තාහටත් උතුම් වූ ප්‍රාර්ථනාවෙක් ම ය. බුදුවම්හ යි ප්‍රාර්ථනා කොට පින් රැස්කළ කල අධික වූ වීර්‍ය්‍ය ඇත්තාහු ලොවුතුරා බුදුබවු ම සාදා ගනිති මධ්‍යම වූ වීර්‍ය්‍ය ඇත්තාහු ප්‍රත්‍යෙකබෝධිය සාදා ගනිති. සාධාරණ වූ වීර්‍ය්‍ය ඇත්තාහු අසාධාරණ වූ ශ්‍රාවක බෝධිය සාදා ගනිති. එසේ හෙයින් බුදුබවු ප්‍රාර්ථනා කළාහට මේ තුන්බෝධියෙන් එක් බෝධියෙන් සිද්ධ වේ ම ය. යම් සේ තුන් තොටක් ඇති මහත් වූ ගඞ්ගාවකට බැස දියකපා පිහිනන්නා වූ පුරුෂයෙක් මත්තෙහි තොටින් නැඟෙමි යි සිතා වීර්‍ය්‍ය කොට පිහිනන කල සුරු යේ වී නම් එම තොටින් නැඟෙයි. එ තොට වරදවාපුයේ වී නම් මැද තොටින් හෝ නැඟෙයි. එ තොට වරදවාපුයේ වී නම් තුන්වන තොටින් ගොඩ නැඟේ ම ය. බුදුවන්ට ප්‍රාර්ථනා කළ කල මත්තෙහි තොටින් නැඟෙමි යි පිහිනුවා වැන්න. ඒහට තුන් තොටින් එක් තොටකින් නැඟීම ඒකාන්ත වන්නා සේ ම බුදුවන්ට පැතුවා හට ද තුන් බෝධියෙන් එක් බෝධියෙක් ඒකාන්ත වේ ම ය. මේ මේ කාරණයෙන් බුදුහු “ශාරිපුත්‍රය! මේ සියලු සත්ත්‍වයන්ට ම අද උන් කළා වූ ප්‍රාර්ථනාව තුන් බෝධියෙන් එක් බෝධියක් සිද්ධ කොට දෙන හෙයින් සාර්ථක වූ ප්‍රාර්ථනාවෙක් ම ය. එසේ හෙයින් බුද්ධාදි වීරපුරුෂයෝ දිව්‍ය-මනුෂ්‍යයන්ට ප්‍රියවන්නාහු ම ය”යි වදාරණ සේක්:

යෙ ඣානපසුතා ධීරා - නෙක්ඛමමුපසමෙ රතා,

දෙවාපි තෙසං පිහයන්ති - සම්බුද්ධානං සතීමතං යි.

යන මේ ගාථාව වදාරා නැවත එමවිට ම සිතන සේක් “මාගේ ශාසනයෙහි මුගලන් මහතෙරහු සෘද්ධිමතුන් කෙරෙහි අග්‍ර වූ තනතුරු ලදහ. අවශේෂ වූ ශ්‍රාවකයෝ ද වෙන වෙන ම තමන් තමන්ට සුදුසු වූ ස්ථානාන්තර ලදහ. මාගේ ශාසනයෙහි සැරියුත් මහ ස්ථවිරයන්ට වඩා ප්‍රඥාවන්ත කෙනෙක් අද මේ මුළු තුන්ලෙව්හි ම නැත. බුද්ධඥානයට අනුරූප ව පවත්නා වූ ඥානගති ඇතියහ. ඔහුගේ ඥානයට ලක් තබත් හොත් පඤ්චමහා ගඞ්ගාවෙහි වැලි මඳ, මුහුදු දිය බිඳු මද, පොළොව පස්බිඳු මඳ, ඔහුගේ නුවණ බෙහෙව. බුද්ධඥානයෙන් මා විසින් දෙසුවා වූ අභිධර්මය එක ශ්‍රැතියෙන් විශේෂයෙන් දරාගත. අද මේ මහ පිරිස මධ්‍යයෙහි මොහුගේ නුවණ බල පරාක්‍රම දක්වා මහපිරිස විස්මය පත් කරවා, මෝහට නුවණැතියන් කෙරෙහි අග්‍ර වූ ස්ථානාන්තර දැන් ම දෙමි”යි සිතා මොළොක් වූ උත්තාන පැනයක් වදාළ සේක. ඒ විපැනය පෘථග්ජනයෝ කීහ. ඔවුන්ට නො දැනෙන අනික් පැනයක් වදාළ සේක.

එ පැනය අසා පෘථග්ජනයෝ තුෂ්ණිම්භූත වූහ. එ පැනය සෝවාන් මාර්ගඵල ලදුවෝ කීහ. අනික් පැනයක් වදාළ සේක. එ පැනයට සෝවාන්හු තුෂ්ණිම්භූත වූහ. සෙදගැමි මග ලදුවෝ කීහ. අනික් පැනයක් වදාළ සේක. එ පැනය සෙදගැමි මඟ ලදුවන්ට නො දැනෙයි. අනාගාමි කීහ. අනික් පැනයක් වදාළ සේක. එ පැනය අනාගාමින්ට නො දැනෙයි. ක්‍ෂීණාශ්‍රවයෝ කීහ. අනික් පැනයක් වදාළ සේක. එ පැනය නිකම් ක්‍ෂීණාශ්‍රවයන්ට නො දැනෙයි. ත්‍රිවිද්‍යාප්‍රාප්ත වූ මධ්‍යම ක්‍ෂීණාශ්‍රවයෝ කීහ. අනික් පැනයක් වදාළ සේක. එ පැනය මධ්‍යම ක්‍ෂීණාශ්‍රවයන්ට නො දැනෙයි. ෂට් අභිඥාප්‍රාප්ත වූ ක්‍ෂීණාශ්‍රවයෝ කීහ. අනික් පැනයක් වදාළ සේක. එ පැනයෙහි අර්ථ සියලු සතුන්ට නෙ ාදැනෙයි. දෑළයෙහි සිටි සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ඔවුනොවුන් පරයා කී සේක. අනික් පැනයක් වදාළ සේක. එ පැනය මුගලන් මහ තෙරුන් වහන්සේටත් නො දැනෙයි. දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ සියුම් කරයකින් ඇඹුල දන්ඩක් නොපැකිළ කපා හළුවා සේ පැකිලීමක් නැතිව ම කියාපු සේක.

එ කල බුදුහු බුද්ධඥානය අතිගම්භීර නියාම මෝහට ද, සියලු සතුන්ට ද, හඟවා මොහුගේ ද නය දන්නා නුවණ ප්‍රසිද්ධ කෙරෙමි යි සිතා බුදුකෙනකුන් මුත් අනික් සත්ත්‍වයක්හට අවිෂය වූ අති ගම්භීර වූ ප්‍රශ්නයක් වදාළ සේක. එ වේලෙහි සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුන් වදාළ පැනය අතිගම්භිර හෙයින් විශේෂයෙන් අර්ථ නෙ ාදැක මුහුදු පීනා ගොඩක් නො දැක ඔබිනොබ දිවන්නා වූ ශූරපුරුෂයකු සේ සද්ධර්මසාගරයට වැද හළලා නොයෙක් නය කල්පනා කොට තෙරක් දැක්ක නො හෙන සේක. එ වේලෙහි ස්වාමිදරුවෝ “භූතමිදං සාරිපුත්ත”යි යන මේ අකුරු සතරින් කිසියම් නයක් දීලූ සේක. ඒ ශ්‍රාවකපිරිසෙන් බුදුන් වදාළ නය කුමක් බවත් දතුවෝ නැත. එ කල සැරියුත් මහ තෙරුන් වහන්සේ එ පමණ නයෙකින් බුදුන් වදාළ නය විශේෂයෙන් අර්ථ දැක සිය දහස් ලක්‍ෂ කෝටිගණන් නය ගෙනහැර දක්ව දක්වා ප්‍රශ්නව්‍යාකරණය කරන්ට පටන්ගත් සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ මහතෙරුන් වහන්සේ ප්‍රශ්න ව්‍යාකරණය කරත් කරත් ප්‍රියපුත්‍රයකුගේ ශිල්ප බලන්නා වූ පෙම්බර පියාණකෙනකුන් සේ “සාධු සාධු ශාරිපුත්‍රය! තෝ ඉතා නය දන්නා සූක්‍ෂම ඥාන ඇතියෙහි ය. බුදුන් අදහස් නො වරදවා කියන්නෙහි ය. බුදුන්ට අනු වූ ඥානසම්පත් ඇතියෙහි ය” යනාදීන් මහ තෙරුන් වහන්සේට ස්තුති කොට වදාරා තෝ මාගේ ශාසනයෙහි ඥානවන්තයන් කෙරෙහි අග පැමිණියෙහිය යි නුවණැත්තවුන් කෙරෙහි අග්‍ර වූ ස්ථානාන්තර නමැති මහා ප්‍රාසාද දුන් සේක. එ කල සියලු දිව්‍ය-මනුෂ්‍යයෝ මහ තෙරුන් වහන්සේගේ නුවණ බලවික්‍රම දැක අතිප්‍රසන්න වූවාහු ආතත විතතාදි පඤ්චාඞ්ගික තූර්‍ය්‍ය එක පැහැර භවඅග දක්වා ඇසෙන සේ මහා පූජා කළහ.

මෙසේ වූ ප්‍රඥාබලයක් කෙසේ වූ පින්බලයෙකින් ලද සේක් ද? යත්; මේ සැරියුත් මහ තෙරුන් වහන්සේ ගිය ජාතියෙක පුස්පත් ගෙඩියක් හා පන්හිඳක් පමණ බණක් ලියන්ට දන් දුන් සේක. එ පමණ වූ කුශලයෙකින් මෙ පමණ වූ ඥාන බලපරාක්‍රමයක් ලද සේකැ යි දතුයුතු. එ වේලෙහි ස්වාමිදරුවෝ මෙසේ සැරියුත් මහ තෙරුන් වහන්සේගේ ප්‍රඥාව මුළුලෝ වාසීන්ට දක්වා ඒ පර්ෂදට තරම් වූ ධර්මදේශනා කොට වදාළ සේක. එ වේලෙහි තිස්කෙළක් ප්‍රාණීහු අමාමහ නිවන් දුටහ.

මෙසේ මේ දේවෝරෝහණ පූජාවෙහි ම සක්දෙව් රජහු විසින් මවන ලද ත්‍රිවිධ වූ දිව්‍යසෝපාන පූජා ය. දෙතිස් පූර්වනිමිත්ත පූජා ය, වරම් ශක්‍ර සුයාම සන්තුෂිත සුනිර්මිත පරනිර්මිත පඤ්ච ශිඛ මාතලී ඓරාවණාදි දස දහසක් සක්වළ දිව්‍යරාජයන්ගෙන් දැක්වූ එක්ලක්‍ෂ විසිදහසක් දිව්‍යරාජ පූජා ය, අරූතල අසංඥතලයන් හැර දස දහසක් සක්වළ බ්‍රහ්මරාජයන් කළ එක්ලක්‍ෂ පණස්දහසක් බ්‍රහ්මරාජ පූජාය යි, දෙලක්‍ෂ සැත්තෑ දහස් පන්තිස් මහා පූජාවක් ලත් හෙයිනු ත්, සංඛ්‍යාපථයට අවිෂය වූ නො කියන ලද අසංඛ්‍යගණන් පූජා ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ ම ස්වාමිදරු වූ, තුන්ලොවට මේ සා බුදුමහිමයක් දක්වා නිවන් අමා බෙදා දීලූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි:-

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං “අරහං”ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං යි.

මේ පූජාවලියෙහි අප බුදුන් සකස්පුර දොර දී ලද

දේවොරොහණ පූජා කථා නම් වූ පස් විසි වන පරිච්ඡේදය නිමි.

26. ප්‍රතිපත්ති පූජා කථා

මහා ප්‍රජාපතී ගෝතමී චරිතය

තව ද: අප බුදුන් මහාප්‍රජාපත්‍යාදි භික්‍ෂුණීන්ගෙන් ලද ප්‍රතිපත්ති පූජා නම් කවර? යත්;

ඒ මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේගේ දැන් මා විසින් කියන ලද පිළිවෙල කථාව සත්පුරුෂ වූ ස්ත්‍රී-පුරුෂයන් විසින් සාවධාන ව අසා බුදුබල දතයුතු.

උන්වහන්සේ නම් දෙවුදැහැ නම් වූ කෝළිය නුවර මහා සුප්‍රබුද්ධ නම් වූ අඤ්ජන ශාක්‍ය රජ්ජුරුවන්ගේ දියණියන් වහන්සේ ය. කිඹුල්වත්පුර සිංහහනු රජ්ජුරුවන්ට නෑ වූ සුද්ධෝදන රජ්ජුරුවන් නැන්දණියන් සුභලක්ඛනා නම් වූ මහා යශෝධරා දේවීන් කුසින් උපන්හ. ඔවුන්ට නම් තබන මගුලෙහි රැස් වූ නක්‍ෂත්‍ර පාඨකයෝ ඔවුන්ගේ පඤ්චකල්‍යාණ ආදි වූ නො එක් ස්ත්‍රී මඟුල් ලකුණු බලා “මේ කුමාරිකාවෝ මතු පුතකු වැදූ නම් එ පුතු සක්විති රජ වෙයි. දුවක වැදූ නම් එ දූ සක්විති රජක් හට අග බිසෝ වෙයි. තව ද අනික් උත්තම ස්ත්‍රියක කුසින් උපන් පුතකු දු මොවුන්ගේ ම ඔර වැඩී එ පුත් දෙවියනු දු අතින් වැඳුම් ගන්නා තරම් මහත් වූ පින් බල ඇති වෙයි, මේ මේ කාරණයෙන් මොහු ඉතා මහත් වූ පුත්‍ර පූජාවට පතී වන පින්වත් කෙනෙකැ යි ඔවුන් ට සෙසු නමෙකින් කම් නැතැයි මහා ප්‍රජාපතී ය යි නම් තබා ගියහ. මේ කාරණයෙන් ගෝත්‍ර නාමය හා සමග මහා ප්‍රජාපති ගෝතමි ය යි මේ නමින් ප්‍රසිද්ධ වූහ. ඔහු මහාමායා දේවීන් නැගණියහ.

ඔහු දෙදෙන ම ඔවුනොවුන් පරයන ගුණ හා පඤ්චකල්‍යාණ රූසිරි ඇතියහ. දෙදෙන ම එකපද්මයෙක්හි වාසය කරන ශ්‍රීකාන්තාවන් දෙදෙනකු සේ සුද්ධෝදන රජ්ජුරුවන් කෙරෙහි අග මෙහෙසිනී ව වැස මහාමායා දේවී අප බුදුන් වදා, ඔබ උපන් සත් වන දවසින් මිය තුසී පුරෙහි මාතෘ නම් පුරුෂ දිව්‍යරාජයෙක් ව ඉපැද සියලු දිව්‍ය ඓශ්චර්‍ය්‍ය බලා බුදුන් වැදූ පිනින් ලද්දා වූ දිව්‍ය ඓශ්චර්‍ය්‍ය නියාව දැන පුතණුවන් වහන්සේ කෙරෙහි උපන් මහත් වූ ප්‍රේමයෙන් එ කෙණෙහි ම දෙව්ලොවින් දිව අවුදින් දිව්‍ය සේනාව හා සයඟ ශ්‍රී යහන් ගබඩාවෙහි අරක් ගත්හ. එ කල බුදුන් උපන් පස්වන දවසින් මහා ප්‍රජාපතී ගෝතමී නන්‍ද වහ තෙරුන් වදා, එ පුතණුවන් කිරිමවුන්ට පාවා දී බුදුන් ම මහ පෙම් කොට වැඩූහ. එසේ හෙයින් ඔහු තුමූ ස්වල්ප කෙනෙක් නො වෙති. බුදුන්ගේ කුඩා මෑණියහ. මහ පින්බල ඇතියහ. එසේ හෙයින් ඔවුන්ගේ විසිතුරු වූ කථා සත්පුරුෂයන්ගේ මුඛ පද්මයන් ප්‍රබෝධ කරවයි, සිත් නමැති කෞමුදයන් පුබුදුවෙයි. කුසල් නමැති මහ ලිය ය මල් ගන්වයි, කර්ණයට රසායන කරවයි, එසේ හෙයින් සත් පුරුෂයන් විසින් සාවධානව ම ඇසිය යුතු.

මාගේ ස්වාමිදරු වූ ශාක්‍යසිංහෙන්‍ද්‍ර වූ තිලෝගුරු බුදුරජාණන් යට කී ක්‍රමයෙන් ලොවුතුරා බුදු ව බන්‍ධුසංග්‍රහ නිසා පළමු වන ගමනෙහි කිඹුල්වත් නුවර වැඩි දා සවස යමා මහ පෙළහර දක්වා බුද්ධ වංශ-අනාගත වංශ-චර්‍ය්‍යා පිටක-වෙස්සන්තර ආදි නො එක් දේශනායෙන් ධර්මප්‍රවාහ කොට දෙවන දා උදාසන යට කී ක්‍රමයෙන් සිඟා වැඩ වීථියෙහි දී වදාළ බණින් සුද්ධෝදන රජ්ජුරුවන් සෝවාන් සෙදගැමි කොට රජගෙයි දී වදාළ අනුමෙවුනි බණින් මහා ප්‍රජාපති ගෝතමීන් සෝවාන් කොට පස්වරු යශෝධරා දේවීන්ගේ රජගෙයිදී වදාළ චන්‍දකින්නර ජාතක දේශනාවෙන් ඔවුන්ගේ ද ශෝක සන්හිඳුවා, තුන් වන දවස් නන්‍ද කුමාරයන් මහණ කොට, සත්වන දවස් රාහුල කුමාරයන් මහන කොට, මහා ධර්මපාල ජාතක දේශනාවෙන් සුද්ධෝදන රජ්ජුරුවන් අනාගාමි කොට, යට කී ක්‍රමයෙන් ගම් නියම්ගම් රාජධානියෙහි ලෝවැඩ වඩා වැඩ දෙවුරම් වෙහෙර වාසය කරන කල්හි ශාක්‍ය කෝළිය දෙ නුවර රජුන්ගේ රෝහිනී නම් ගඞ්ගාවෙහි දී දිය ඩබරක් නිසා මහා සංග්‍රාමයෙක් විය. කෙසේ වූ සංග්‍රාමයෙක් ද? යත්;

ශාක්‍ය කෝලිය දෙනුවර වාසීන්ගේ දිය දබරය

ශාක්‍ය-කෝළිය දෙනුවර වාසීහු එක් ව රෝහිණී නම් ගංගාව අවුරා බැඳ දෙභාගයකට දිය නඟා ගොයම් කොට පැසවන්නාහු ය. පොසොන් මස පහරණ සැඩ මහ නියගෙහි ගඟ දිය මඳ ව දෙභාගයෙහි ම කරල් නඟන ගොයම් මියන්නට පටන් ගත. එ කල දෙනුවර වාසීන්ගේ ක්‍ෂෙත්‍රපාලයෝ එක් ව කථා කරන්නාහු “ගඟාදිය දෙභාගයට මඳ, එක් භාගයකට ම යේ නම් ඒ භාගයෙහි ගොයම් පැසෙයි. දෙභාගයට දිය ගලහොත් දෙභාගයෙහි ම ගොයම් මියෙයි. අපගේ භාගයට ම දිය හැරපියව. අපගේ භාගයට ම දිය හැරපියව”යි ඔවුනොවුන් අතින් දිය ඉල්වූහ.

එ කල කෝළිය නුවර ගොවී කියන්නාහු, “තොපගේ නුවර බඩසල් පිරීගියේ නම් තොප හා තොපගේ රජුන්ට සුව ය. අප හැමගේ බඩ පිරී නො යෙයි. අපි දිය නෙ දෙම්හ”යි කීහ. ශාක්‍ය නුවර ගොවී ද “තොපගේ නුවර බඩසල් පිරී ගියේ නම් තොප හා තොපගේ රජුන්ට සුවය එදා අප හැම බඩ පිරී නො යෙයි. අප නො වෙහෙසව. අපි දු දිය නො දෙම්හ”යි කියා දිය බැන්දහ.

එ කල කෝළිය නුවර ගොවීහු එ දිය කැපූහ. එ කල කලහ වඩාගෙන යත් යත් එකෙක් එකකු පහළ, දෙන්නෙක් දෙන්නකු පහළහ, සතර දෙනෙක් සතර දෙනකු පහළ. අටදෙනෙක් අට දෙනකු පහළ. සොළොස් දෙනෙක, දෙතිස් දෙනෙක යනාදින් වසයෙන් දෙනුවර ගොවීහු ඔවුනොවුන් පැහැර දෙභාගයෙහි ම බල සම හෙයින් එක් භාගයෙක ගොවීන් පරදවා දිය උදුරා ගත නොහී දියධාරා දෙභාගයෙහි වෙන් වෙන් ව ඔවුනොවුන්ට උදලු මිටි අමෝරා ගෙන සිටි කල්හි ඔවුනොවුන්ට ප්‍රහාර දීගත නො හී වාක් පරුෂයෙන් ජය ගනුම්හ යි ජාති ඝටනයෙන් බැණ ලජ්ජා කරම්හ යි කෝළිය නුවර ගොවීහු කියන්නාහු “කොල! තෙපි ශොණ ශෘඟාලයන් සේ ඔවුනොවුන් කෙරෙහි ලජ්ජා නැති ව කුශහොත් නගුන් පවා කලත්‍ර කොට ඥාතිසම්භෙද කරණ ශාක්‍යයන්ගේ ගැති කොල්ලෙනි! තෙපි අපට දිය නො දෙව්දැ”යි බිණූහ. ශාක්‍යනුවර ගොවීහු එ බසට කිපී “සර්වාඞ්ගයෙහි ශ්වේතකුෂ්ට ඇති ව වල් වන් ගැහැණියක කුසින් කුෂ්ට ඇති ව වල් වන් මිනිසක් හට දාව කොළොම සිදුරෙහි දී උපන් ගස් ඔඩැල්ලෙහි වවුලන් සේ උපන් අශරණ ව වැඩුණු කෝලියයන්ගේ ගැති කොල්ලෙනි! අපට දිය නො දෙව් දැ”යි මෙසේ ඔවුනොවුන්ගේ රජදරුවන්ට කුල ඝටා බිණූහ.

එ වේලෙහි සමහරු තම තමන්ගේ නුවරට දිව දිව ගොස් තමන් තමන්ගේ ධුර මුදලිවරුන්ට කලහ ඩබර හා බිණූ බිණුම් එකක් දෙකක් කොට කීයෙන් නො කීයෙන් කියා බිඳවූහ. ඔහු දිව දිව ගොස් එකක් දසයක් කොට කියා මහ ඇමතියන් ඉද වූහ. ඔහු කිපි කිපී ගොස් දසයක් විස්සක් කොට කියා යුවරජුන් සිත් කැළඹූහ. ඔහු ගොස් විස්සක් සියයක් කොට කියා සේනාධිපතීන් කලකිරවූහ. ඔහු කිපී දිව දිව ගොස් සියක් දහසක් කොට කියා නිය පිට ගල් ගැසූ මතැතුන් සේ රජුන් කෝපයෙන් මත් කරවාපීහ.

එ කල අසූ දහසක් ශාක්‍ය රජ්ජුරුවෝ සුළං දුටු ගිනිකඳන් සේ කෝගින්නෙන් දිලිහි දිලිහී තමන් තමන්ගේ ඇත් අස් රථ පාබල සෙනග ගෙන “නඟුන් හා ඥාති සම්භේද කරණ ශාක්‍යයන්ගේ කඩුවල මුවහත් ඇති නියාව කෝළියයන්ට පෑ බලම්හ. කෙහෙල්කඳන් සේ අද කෝළිය රජුන් පොලු ගසම්හ”යි වාසි කිය කියා දිව දිව අවුදින් විදුලිය සේ කඩුපත් බව බමා සියදහස් ගණන් සෙනහඬ සේ දුනු දිය වල් අත් පොළ පොළා ගඞ්ගාවෙහි එක් භාගයෙක ඇනිලා සිටගත්හ.

එ තෙපුල් ඇසූ අසූදහසක් පමණ කෝලිය රජදරුවෝ ද ගිනි දුටු ලුණු සේ කිපී තමන් තමන්ගේ සිවුරඟ සෙනඟ ගෙන “කොළොම් සිදුරෙහි උපන් අශරණයන්ගේ කඩුශරඹ ඇති බවත් මුවහත් ඇති බවත්, ශාක්‍යයන්ට හඟවා අලමදන් සේ ඇසිල්ලෙකින් පොලු ගන්නා බලව”යි වාසි කිය කියා දිව දිව අවුදින් ගඟ අනික් භාගයෙහි වැසි ගිගුම් ගත් මහ මුහුදක් සේ ගර්ජනා කෙරෙමින් කඩුපත් බමට බමවා සිටගත්හ.

එ කල ශාක්‍යනුවර උපන් බිසෝවරු කෝළියනුවර රජුන් කෙරෙහි ම වෙසෙති. කෝළිය නුවර උපන් බිසෝවරු ශාක්‍ය රජුන් කෙරෙහි ම වෙසෙති. එසේ හෙයින් තමන් තමන්ගේ මල්බෑයන් මරම්හ යි කිය කියා තමන් තමන්ගේ පිරිවර හා සමඟ අවුත් අසූ දහසක් ශාක්‍ය බිසෝවරුන් හා අසූදහසක් කෝළිය බිසෝවරුන් හා දෙභාගයෙහි ම සාහසික ව බන්‍ධුප්‍රේමයෙන් ස්වාමිප්‍රේමයෙන් “අද කවුරුන්ට කුමක් වේ දෝ හෝ” යි කියමින් දෙසෙනගෙහි ම සම වූ කරුණාවෙන් වැලප වැලප සිටියහ. ඒ සා දෙ නුවර ගේ බලන්නෝ පමණතුත් නො රඳා දෙ නුවර ම සිස් කොට අවශේෂ වූ සත්ත්‍වයෝ අවුත් වන්හ.

එ කල මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ එ දා අරුණෝද්ගමන වේලායෙහි “අද කෙසේ වූ ලෝවැඩක් කෙරෙම් දෝ හෝ”යි ලෝකය බලා වදාරණ සේක්, එ දවස් තමන් වහන්සේගේ බන්‍ධුසමූහයා බොහෝ දෙන නස්නා සේ දැක, තමන් වහන්සේ එ තෙනට වැඩියහොත් එ දවස් වන බොහෝ වැඩ දැක, පාත්‍රා සිවුරු තමන් වහන්සේ ම ගෙන උපස්ථායක වූ අනඳ මහ තෙරුන් වහන්සේ පමණකුත් නො කැඳවා, එකචාරී සිංහරාජයකු සේ සවස් වේලෙහි දෙවුරම් වෙහෙරින් නික්ම එතෙනට වැඩ, දෙ සෙනඟ මධ්‍යයෙහි ගං මුදුනෙහි ආකාශයෙහි පැනනැඟී පලග් බැඳ වැඩහිඳ සියලඟ දුමා මුලු ලොව එකාන්‍ධකාර කොට “මාගේ නෑයෝ දෙදෙනෙක් ඔවුනොවුන්ට නො පෙනෙත්ව යි ඔවුන්ගේ ඇඟින් ලේ බින්දුවක් සොල්වා ගත නො හෙත්ව යි මාගේ මෛත්‍රී පාරමිතා නමැති මහ දියවතුරෙන් ඔවුන්ගේ කෝගිනි සන්හිඳේව”යි අධිෂ්ඨාන කළ සේක.

එ වේලෙහි ඔවුන්ගේ ඒ සා මහත් සෙනඟ දෙදෙනෙක් ඔවුනොවුන්ට නො පෙනෙති. ඔවුනොවුන්ගේ කටහඬත් නො අසති. තමන් තමන් අත තුබූ ආයුධ නො දකිති. එකල දෙ සෙනඟ ම ලෝඇඳිරි නරකයට වන්නවුන් සේ සටන් තබා අන්‍ධකාරයෙන් මූර්ඡා වූහ. එ කල බුදුහු ඒ අඳුර අන්තර්ධාන කොට ආකාශයෙහි සරාහිරි මඬලක් සේ පෙනී වදාළ සේක.

එ වේලෙහි මරසෙනඟක් සේ දෙගං භිත්තියෙහි සිටි මහ සෙනඟ “කොල! මේ සබා අඳුරෙක් නො වෙයි. අප බුදුන්ගේ පෙළහරෙක. අප බුදුහු අපගේ මේ කලහ දැක අප සන්හිඳුවන නිසා වැඩියහ. අප බුදුන් දුටු නෑයන් තබා උන් මරම්හ යි ආ මරසෙනඟ පවා ඒ ඒ දිග්හි පලා ගියහ. උන් මරම්හ යි ගිය දුනුවායෝ පවා උන්ට කුලගැති වූහ. උන් විදුම්හ යි දුනු හයා ගත් කුක්කුටමිත්‍රාදි දරුණු වූ වැද්දෝ පවා උන්ට කුලගැති වූහ. එ බඳු වූ අපගේ නෑ උතුමාණන් දැක දැක අපි සටන් නො කරම්හ. අපි කලහ නො කරම්හ”යි කිය කියා අත තුබූ ආයුධ බිම දමා දෙනුවර එක්ලක්‍ෂ සැටදහසක් රජදරුවෝ ඔවුනොවුන් වැළඳ සිඹ සනහා ඔවුනොවුන් අත්වැල් බැඳ සිනා සිසී ගොස් බුදුන් පිරිවරා උන්හ. දෙනුවර එක්ලක්‍ෂ සැටදහසක් බිසෝවරු ද බුදුන් දුටු සන්තෝෂ හා මල් බෑයන් දිවි ලද සන්තෝෂෂ හා පුරුෂයන්ගේ කෝගිනි නිවී ගිය සන්තෝෂයෙන් හා, තමන් තමන් වැන්දමු නො වූ සන්තෝෂයෙන් හා, පීන පීනා ගොස් බුදුන් වැඳ හිරු දුටු පියුම් වනයක් සේ බුදුන් සිසාරා උන්හ.

එ කල බුදුහු තුන්ලක්‍ෂ විසිදහසක් පමණ තමන් වහන්සේගේ බන්‍ධුසේනාව මධ්‍යයෙහි තරුමැද සඳක් සේ දිලිහි දිලිහී වැඩහිඳ “ශාක්‍ය කෝළිය රජුනි! තොපගේ මේ කුමන උත්සවයෙක් ද, ගඟ දියකෙළිියට අවුනැ”යි විචාළ සේක. එ වේලෙහි රජදරුවෝ ඔවුනොවුන් මුහුණු බලා මඳක් සී “ස්වාමීනි! කෙළියකට නො ආම්හ. ඩබරකට ආම්හ”යි කීහ. බුදුහු “කුමන කලහයෙක් දැ”යි කී සේක. රජදරුවෝ කියන්නාහු “ස්වාමීනි! අපි කිපී යුද්ධයට ආ බවක් මිස කුමක් නිසා වූ කලහයක් බවත් නො දනුම්හ. සේනාධිපතිවරු දනිති” යි කීහ. ඔවුන් අතින් විචාළහ. සේනාධිපතිවරු “අපි නො දනුම්හ. යුවරජුන් අතින් ඇසුම්හ”යි කීහ. යුවරජහු “මහ ඇමැතියන් අතින් විචාළ මැනැවැ”යි කීහ. මහ ඇමැතියෝ “ක්‍ෂෙත්‍රාධිපතීන් අතින් විචාළ මැනැවැ”යි කීහ. ක්‍ෂෙත්‍රාධිපති “ක්‍ෂෙත්‍රපාලයන් අතින් විචාළ මැනැවැ”යි කීහ. ක්‍ෂෙත්‍රපාලයෝ දියඩබර වූ නියායෙන් කීහ.

එ වේලෙහි බුදුහු “රදුනි! දිය කෙතෙක් අගී දැ”යි විචාළ සේක. ස්වාමීනි! දියෙහි අගයෙක් නැත. ස්වල්පදෙයෙකැයි කීහ. මහ පොළොව කෙතෙක් අගී දැ යි විචාළ සේක. ස්වාමීනි! මහපොළොව අනැගි ය යි කීහ. රජහු කෙතෙක් අගිද්දැයි විචාළ සේක. ස්වාමීනි! රජහුත් අනැගියෝ ය යි කීහ. බිසෝවරු කෙතෙක් අගිද්දැයි විචාළ සේක. ඔහු ද අනැගියෝ ය යි කීහ. තොප හැමගේ බන්‍ධුත්‍වය කෙතෙක් අගී දැ යි විචාළහ. ස්වාමීනි! බන්‍ධුත්වය නම් මහමෙර සේ උතුම් දෙයක් ම වේ දැයි කීහ. එ බැවින් තොප හැමදෙනා ස්වල්ප වූ මුහුදට යන දියක් නිසා මහපොළොව සේ අනැගි වූ, රජුන් හා අනැගි වූ, රාජ මහීෂිකාවන් හා අනැගි වූ, බන්‍ධුසම්බන්‍ධය හා නසම්හ යි සිතූ සේ ඉතා නොයෙදෙයි; වදාරා “තොපගේ වංශයෙහි උපන් බුදුහු පඤ්චවෛරයන් දුරු කොට සුවෙන් වෙසෙති. තොප පඤ්චවෛරයන් පිරිවරා වසන සේ නොයෙදෙයි” යනාදීන් වදාරණ සේක්:-

සුසුඛං වත ජීවාම - වෙරිනෙසු අවෙරිනො

වෙරිනෙසු මනුස්සෙසු - විහාරාම අවෙරිනො - යි.

යනාදි ධම්මපද ගාථාවෙන් බණ වදාරා නැවත ඵන්‍දන ජාතක තිත්තිර ජාතක - රුක්ඛධම්ම ජාතකාදි තමන් වහන්සේගේ නො එක් ජාතිභේද කථාවෙනු දු විසිතුරු වූ බණ වදාරා කෙළවර අත්තදණ්ඩ සූත්‍රෙයන් දේශනාව කුළු ගන්වා දෙනුවර රජුන් ක්‍ෂමා කරවා බිසෝවරුනු ද වල්ලභයන් - මල්බෑයන් හා ක්‍ෂමා කරවා ගඞ්ගොදකය හා යමුනොදකය සේ නො වෙනස් කොට වදාළ සේක.

එ වේලෙහි දෙනුවර රජුන් හා බිසෝවරු “අප බුදුන් අද මෙ තෙනට වැඩ වදාළහෙයින් මිස අපට ඉතා මහත් වූ හානි වෙයි. අප බුදුහු අප මෙලොව ත් රකිති. පරලොවත් රකිති. අපගේ නෑ උතුමාණෝ බුදු වූයෙන් මිස සක්විති රජ වූ නම් අප හැම තබා සතර මහ දිවයින රජහු ම ඔවුන් පිරිවරති. එසේ වූ උතුමාණන් අපගේ රජකුලෙන් බුදු ව සෙසු මහණුන් පිරිවරා ඇවිදිනා සේ නො යෙදෙයි. මෙයින් මත්තෙහි රජ මහණුන් පිරිවරා ඇවිද්ද මැනැවැ”යි ඔවුනොවුන් හා මන්ත්‍රණය කොට ශාක්‍යරජකුමරුවන් දෙසිය පනසක් හා, කෝළිය රජකුමරුවන් දෙසිය පනසක් හා පන්සියයක් රජකුමරුවන් බුදුන්ට පුදා ගියහ. එ වේලෙහි ස්වාමිදරුවෝ ඒ පන්සියයක් රජකුමරුවන් එ තැනදී ම මහණ කොට ගෙන මිණි පිරිවැරූ සිතුමිණි රුවන සේ රජ මහණුන් ම පිරිවරා දෙවුරම් වෙහෙරට ම වැඩි සේක.

එ කල ඒ පන්සියයක් රාජකුමාරවරුන්ගේ රූප නන්‍දාවෝ ය. ථුල්ලනන්‍දාවෝ ය, සුන්‍දරි නන්‍දාවෝ ය, කල්‍යාණි නන්‍දාවෝ ය, ශ්‍රී නන්‍දාවෝ ය, ලක්‍ෂණ නන්‍දාවෝ ය, පදුම නන්‍දාවෝ ය, චන්‍ද මුඛීය, පදුම මුඛීය, ආදාස මුඛීය, සුන්‍දරී මුඛීය යනාදි පන්සියයක් බිසෝවරු පුරුෂ වියෝගයෙන් පෙළෙන්නාහු පුරුෂයන්ට සොර පත් යවා සොර පඬුරු යවා ඔවුන් හා පෙර තමන් කළ ප්‍රියකථා හා සලකුණු කියා යවා පුරුෂයන්ට සංවේග උපදවා මහණධම් පිරීමෙහි උත්සාහ මඳකොට සස්නෙහි උකටලී කරවති. එ කල ස්වාමිදරුවෝ මේ කාරණය දැක ඒ පන්සියයක් රජ මහනුන් සෘද්ධිබලයෙන් හිමාලය වනයට ගෙන ගොස් එහි කුණාල නම් විල දී කුණාල ජාතක ය දෙසා සෝවාන් කොට කිඹුල්වත් පුර නුවර මහ වෙනෙහි දී මහාසමය සූත්‍රය දෙසා අමාමහ නිවන් දක්වා සංසාර සාගරයෙන් ගොඩනඟා ගෘහවාසයෙහි ලෝභය හා ස්ත්‍රීන් කෙරෙහි කාම තෘෂ්ණාව අහසට පොළොව සේ දුරු කරවා වදාළ සේක.

පසුව ද ඒ බිසෝවරු ඔබ රහත් වූ බවු නො දැන පෙරසේම සරුප කියා යවති. එ කල ඒ භික්‍ෂූන් වහන්සේ “ගිහිවාසය මේ ජාතියෙහි තබා මතු ජාතියෙහි ද දුරු කළම්හ. නිවන් සුව විඳිමින් සිටියම්හ. නිවන්සුවයෙහි රස දත්තවුන්ට කාමසුව නම් ගැරවිල් කුණක් සේ පිළිකුල, එසේ හෙයින් තෙපි තෙපි අප හැම ප්‍රාර්ථනා නො කරවා රහතුන් පැතීම නම් සුළං බදන්නා වැන්න, සඳට අත දිගු කරන්නා වැන්න. අප නො පතා තෙපි තෙපි දු තපස් කොට සසරින් ගැළවී ගනුව”යි කියා යවන සේක.

භික්‍ෂුණී ශාසනය

එ කල පන්සියක් බිසෝවරු “වැන්දඹු වාසයට වඩා අපි දු තපස් කරමෝ නම් යෙහෙකැ”යි කියා ඔවුනොවුන් හා මන්ත්‍රණය කොට හැමදෙන ම මහා ප්‍රජාපතී ගෝතමී නම් බුදුන් වැඩූ කුඩා මෑණියන් වහන්සේ කරා ගොස් “ස්වාමීනි! අප හැමදෙනාත් කැඳවා ගෙන බුදුන් කරා ගොස් මෙහෙණි සස්න අනුදන්වා ගෙන මහණ වුව මැනවැ”යි යාච්ඤා කළහ. එ සමය නම් ශුද්ධෝදන රජ්ජුරුවන් දළපුඩුසේසතින් යුක්ත වූ ශ්‍රීයානේ වැදහෙව අමාමහ නිවන් දැක පිරිනිවන් පෑ සමය ය.

එ කල බුදුහු පිය මහරජ්ජුරුවන්ගේ ආදාහන පූජාවට වැඩ බන්‍ධුසංග්‍රහ නිසා නිග්‍රෝධාරාමයෙහි වසන සේක. එසේ හෙයින් මහාප්‍රජාපතී ගෝතමීන් වහන්සේ ද ඒ බිසෝවරුන් කී බස් ගිවිස බුදුන් කරා ගොස් බුදුන් වැඳ “ස්වාමීනි! නන්‍ද කුමාරයන්-රාහුල කුමාරයන් වැනියන් ගිහි ගෙය හැර ගොස් නුඹවහන්සේ කෙරෙහි මහණ ව වසන කල, රජ්ජුරුවනු ද නිවන්පුර ගිය කල, එකලා වූ මා වැනියන් ගිහි ගෙයි විසීමෙන් කම් නැත. මහණවනු කැමැත්තෙමි, භික්‍ෂුණී ශාසනය අනුදැන වදාළ මැනැවැ”යි ආරාධනා කළහ.

එ වේලෙහි බුදුහු ඔබ මා උදෙසා භික්‍ෂුණී ශාසනය මතු ඇති වන නියාවත් ස්ත්‍රී ලෝකයහට බොහෝ වැඩවන නියාවත් ස්ත්‍රීන්ගේ පැවිදි වීම නිසා මතු ශාසනයට බොහෝ අභ්‍යාඛ්‍යාන උපදින නියාවත්, එ කල බොහෝ අඥාන සත්ත්‍වයන් ශාසනයෙහි සිත් කලකිරුවා අපාගත වන නියාවත්, දැක ස්ත්‍රීන්ගේ බහුල වූ යාච්ඤාවෙන් ම උන්ගේ නො එක් උත්සාහයෙන් ම පැවිදි දුන් කල ප්‍රව්‍රජ්‍යාව ගරු වන නියාවත්, පෙවු අතට දීපු වස්තුවක් අසාර කොට සිතන්නා සේ එක වාරයෙහි කළ යාච්ඤාවට මෙහෙණි සස්න අනු දතිම් නම් ගරු නො වන්නේ ය. මතු අභ්‍යාඛ්‍යානයක් උපන් කල සත්ත්‍වයෝ “බුදුහු මේ මේ කාරණ දැක ආදිම මැලි වූ සේක. ස්ත්‍රීන්ගේ ම මහත් යාච්ඤා නිසා මහ කරුණාවෙන් මෙහෙණි සස්න අනුදත් සේක. බුදුන්ගේ වරද නැතැ”යි බුදුන්ගේ ගුණ ගෙන සිත් පහදවා සත්ත්‍වයෝ සඟමොක් දෙකට පැමිණෙන්නාහුය යි නො එක් කාරණ පරීක්‍ෂා කොට මේ වාරයෙහි අවසර නොදෙමි යි සිතා “අලං තෙ ගොතමි මං තෙරුච්චි මාතුගාමස්ස කථාගතප්පවෙදීතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජා”යි වදාරා “මාගේ නිර්මල වූ ශාසනයෙහි ස්ත්‍රීන්ගේ පැවිදි වීමට ගෝතමීනි! උත්සාහ නො කරව”යි වදාරා ප්‍රතික්‍ෂේප කළ සේක.

දෙ වන වාරයෙහි යාච්ඤා කළහ. දෙවන වාරයෙහිත් බුදුහු ප්‍රතික්‍ෂේප කළ සේක. තුන්වනුව යාච්ඤා කළහ. තුන්වනුවත් බුදුහු නො ගිවිසී සේක. සතරවනුව බුදුන්ට යාච්ඤා කොටගත නොහී බුද්ධානුභාවයෙන් තැතිගෙන බුදුන් වැඳ පසු බැස බැස “අනිත් වාරයෙහි උත්සාහ කෙරෙම් මය, පැවිද් ත් වෙම් ම ය” යි සිත සිතා රජගෙට ගියහ.

එ කල ස්වාමිදරුවෝ එ නුවරින් වැඩ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි ලෝවැඩ වඩ වඩා වාසය කරන සේක. පසු ව මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ ඒ පන්සියක් බිසෝවරුන් කැඳවා “දරුවෙනි! බුදුහු ස්ත්‍රීන්ට පැවිදි නො දෙන සේක. තුන්වාරයක් යාච්ඤා කොට පවා මා වැනියන්ට පැවිදි නුදුන් සේක. එසේ හෙයින් බුදුන් අනු දන්වා ගත නො හැක්ක. අපි හැමදෙන ම මහණව ගොසින් බුදුන් දකුම්හ. එසේ කල බුදුහු අප හැම කෙරේ කළ අනුකම්පාවෙන් භික්‍ෂුණී ශාසනය අනුදන්නා සේක්මය”යි කියා හැමදෙනා ම ගිවිස්වා කෙස්වැටි කපා හැර සිවුරු පෙරව මැටි පාත්‍ර ගෙන ඒ පන්සියක් දෙනා හා සමඟ විශාලා මහනුවර බලා නික්මුනු දෑ ය.

එ කල ශාක්‍ය-කෝළිය දෙ නුවර රජදරුවෝ උන්වහන්සේ මහණ ව නික්මුණු බවු අසා උපන් මහත් වූ කම්පා ඇති ව කිඹුල්වතින් දෙසිය පනසක් හා දෙව්දහ නුවරින් දෙසිය පනසක් හා පන්සියක් රන්රථ පෙරමඟට ගෙනහැර “ස්වාමීනි! මේ රථයෙන් වැඩිය මැනව. මේ රථයෙන් වැඩිය මැනැවැ”යි ආරාධනා කළහ. එ කල “අපි දැන් රථ නැගී අලඞ්කාරයෙන් බුදුන් දක්නට ගියමෝ නම් ඒ බුදුන්ට ආදරත් නො වෙයි. තපසට අඞ්ගත් නොවෙයි. අප හැම මහත් වූ කායබ්‍යසනයෙන් ගිය කල එම කරුණෙන් කරුණා උපදවා පැවිදිත් දෙන සේක. පයින් යාමෙන් දරුවෙනි! අප හැමට මහත් වූ වැඩ වෙයි. රථ නො නැගෙම්හ”යි කියා එ පන්සියක් රථ ආ පස්සේ ම යවා පයින් ම නික්මුණු සේක.

ඇති වූ දවස් පටන් මතුමහලින් යටිමහලට බස්නා කල පවා මහත් වූ වැසනයෙන් බස්නා වූ, හොප් නැඟූ දර්පණ භූමියෙහි සක්මන් කරන කල පවා රන්රුවන් මරවැඩියෙන් සක්මන් කරන්නා වූ, ගිනි තපිනා කලපවා ‘මලදණ්ඩෙහි ගිනි ඉතා දැඩි ය, සඳුන් දණ්ඩෙහි ගිනිදුම් මඳක් දැඩි ය’යි සළුපිළි පටපිළී තෙල්ගාලා ගින්නෙන් ගිනි තපිනා වූ, රහස්ගෙට - පැන්ගෙට පිටත් වන වේලෙහි පවා බුමුතුරුණු අහස් වියන් හා සමග ම ඇවිදුනා වූ, කුලයෙහි උපන් අතිසුඛුමාල වූ, ශ්‍රීවන්ත වූ, කුලදූන් හෙයින්, මොළොක් වූ, පතුල් ඉදිම ඉගිනි ඇට සේ බිබිලි නැගී සමහර බිබිලි ගැසී මහත් වූ කාය ව්‍යසන විය.

එ කල “මහාප්‍රජාපතීන් වහන්සේ හා පන්සීයක් බිසෝවරු මහණ වූ ල. බුදුන් දක්නට නික්මුනාහු ල. මහත් වූ විඩායෙන් පයින් යෙත් ලැ”යි දඹදිව බොහෝ තැන සැලව ගිය. එ කල එ් ඒ දනව්වෙහි ශ්‍රීවන්ත වූ චාතුර්වර්ණයෝ පෙර තමන් එ නුවර බිසෝවරුන්ගේ රූපසම්පත් විශේෂයෙන් අසා දන්නා හෙයින්, ‘ඔවුන්ගේ රූපසම්පත් බලම්හ’යි ඒ ඒ දිගින්දිව අවුත් මඟ බලාගෙන උන්නාහු උන්වහන්සේ පන්සියක් රජදූන් පිරිවරා සන්හුන් ගමනින් දසදිග් නො බලා තවුස් වෙසින් වඩනා ලෙස් දැක වැඳ පෙරළෙන්නාහු ය. නො එක් දානෝපකරණයන් ගෙන වුත්, පෙරමග ඒ ඒ තන්හි සිට “ස්වාමීනි! අපට අනුග්‍රහ කළ මැනැව. අපට අනුග්‍රහ කළ මැනැව. නුඹ පුතනුවන් වහන්සේ ද මේ මඟ වඩනාසේක් අපට අනුග්‍රහ කළසේක. අපගෙන් දන් වැළඳූ සේක. අපගේ අරම ලැගි සේක. අපට බණ දෙසූ සේක. නුඹ ද අපගෙන් වැළඳුව මැනැවැ”යි ආරාධනා කෙරෙති. සමහරු ඉදීම ගිය පතුල් දැක, පැන නැඟි බිබිලි දැක, ගැසි ගැසී ගිය බිබිලෙන් වහනය වන ලේ දැක, උපන් මහා කරුණාවෙන් මහ හඬින් හඬමින් වැලපෙමින් ඇත්වාහන - අස්වාහන - රථවාහන ඉදොලු කෑනම් ගෙන අවුත් “මෙයින් වැඩිය මැනැව, මෙයින් වැඩිය මැනැව පතුල්වලට දුක් නුදුන මැනැවි” යනාදීන් කිය කියා ඒ ඒ තැන්හි මුළු බැඳ බැඳ සිටිනා වූ ස්ත්‍රී පුරුෂයෝ මෙ තෙකැයි පමණ නැත.

එ කල එක වාහනයකටත් නො නැඟී, දුටු දුටුවන්ට පින් දිදී, පතුල් රෙදව රෙදවා, දණ අත් ඔබ ඔබා, ඒ ඒ තැන සැතපි සැතපී, එක් පනස් යොදුන් මඟ ගෙවා විශාලා මහනුවර වැද බුදුන් වසන කූටාගාර ශාලාවේ දොරටුයෙන් පිටත සවස් වේලෙහි මළානික ව ගිය රත්පියුම් කැලයක් සේ මෙහෙණිනි පෙළ පිරිවරා වෙහෙර දිශාව බල බලා සිටි දෑ ය. කුමක් නිසා ඇතුලු වෙහෙරට නො වැද සිටි දෑ ද? යත්;

පෙර මම තුන් වාරයෙක මාගේ බුදුන් අතින් පැවිදි ඉල්වා නො ලදිමි. දැනු දු පැවිදි ලැබීමෙහි නියම නැත. මා ආ නියාව දඹදිව බොහෝ තැන සැලව ගිය. මඟදී ද බොහෝ දෙන දුටහ. “බුදුන් කරා ගොස් බුදුන්ගේ චුල්ලමාතාවෝ පැවිදි නොලද්දාහුල. බුදුහු පැවිදි නුදුන්නාහු ලැ”යි සැලව ගියේ නම් බුදුන්ටත් නින්දා වෙයි. මටත් නින්දා වෙයි. බුදුන් නො දැක මෙ තෙන සිට පැවිදි ඉල්වා යවමි. පැවිදි ලදිම් නම් ඇතුළට වැද බුදුන් දකිමි. නො ලදිම් නම් බුදුන් නොදැක ආ පස්සෙහි ම යෙමි. එසේ කල බුදුන්ටත් නින්දා නොවෙයි. මටත් නින්දා නොවෙයි. සිතා වෙහෙරට නො වැද දොරටුයෙන් පිටත සිටි දෑය.

එ කල අනඳ මහ තෙරුන් වහන්සේ ඇතුළෙහි බුදුන්ට කළ මනා වෙය්‍යාවත් කොට කිසියම් ලද අවකාශයෙක පිටත කළ මනා අඩුවැඩි වත් පිළිවෙත් බලා ඇවිදිනා සේක් දොරටුයෙන් පිටත සිටියා වූ මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ හා පන්සියක් බිසෝවරුන් දැක එ තෙනට වහ වහා ගොස් ඉදිම ගිය පතුල්වල බිබිලි හා සමහරුන් පයින් වැගිරෙන ලේ හා රජසින් පිරුණු ශරීර හා, තවුස්වෙස් හා මලානික ව ගිය ශරීර දැක, ලපිරුණු ශෝකයෙන් ඇස් පිරුණු කඳුළෙන් “මේ කිමෙක් ද මා මැහැනියෙනි, තෙලේ කෙසේ වූ වෙස් ද, රජදූනි, ශාක්‍ය කුලයට පරිහානියෙක් වී ද, රාජ්‍යෙයන් නෙරපූ කෙනෙක් ඇද්ද, මේ කෙසේ වූ අසරණ ගමනෙක් ද, මේ සා කතරෙක කැඳවාගෙන ආවෝ කවුරු ද, එසේ අවුදිනුත් මාගේ බුදුන් වැනි නුඹ පුතනු කෙනකුන් වහන්සේ වැඩහුන් වෙහෙරට නො වැද පිටත සිටියේ කුමක් නිසාදැ”යි විචාළ සේක.

එ වේලෙහි ඔබ කියන සේක් “මපුතනුවන් වහන්ස! නුඹ වහන්සේගේ ශාක්‍යකුලයට ද පරිහානියෙක් නො වී ය. අප හැම නෙරපූ කෙනෙකුත් නැත. මම පෙර තුන්වාරයෙක ම ම පුතණුවන් වහන්සේ අතින් පැවිදි ඉල්වා නො ලදින් දැන් මම් ම මහණ ව අවුත් තව ද: පැවිදි නො ලැබෙම් දෝ හෝ යි යන සැකයෙන් ඇතුළට නො වැද සිටියෙම් පැවිදි ලදිම් නම් ඇතුළට වදිමි යි, නැත ආපස්සෙහි යෙමි”යි කී දෑ ය.

එ කල අනඳ මහතෙරුන්වහන්සේ “එ බැවින් මැහැනියෙනි! මා පළමුව ඇතුළට වැදගොස් බුදුනට නුඹ ආ බව දන්වා බුදුන්ගේ අදහස් දැන මා එන තෙක් මඳක් මෙතෙන සැතපී සිටිය මැනැවැ”යි කියාලා ඇතුළු වෙහෙරට ගොස් බුදුන් දැක වැඳ “ස්වාමීනි! මහා ප්‍රජාපති ගෝතමී පන්සියක් බිසෝවරුන් හා සමග කෙස්වැටි කපා මහණ වෙස් ගෙන පාත්‍ර කරලා මහත් වූ ව්‍යසන ගෙන දුරු මග ගෙවා පයින් ම අවුදින් දැන් දොරටුව සමීපයෙහි “පැවිදි දෙන සේක් දෝ හෝ, නො දෙන සේක් දෝ හෝ, යි හඬ හඬා සිටියහ. පැවිදි ලදිම් නම් ඇතුළට වැද බුදුන් දකිමි යි නො ලදිම් නම් ආපස්සෙහි ම යෙමි යි කීහ. ඔහු බුදුන්ගේ ශාසනයෙහි අනගාරිය වූ පැවිදි ලද්දාහු වූ නම් යෙහෙකැයි දැන්වූහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ එ තෙපුල් අසා මතු වන දෙය තමන් වහන්සේ විශේෂයෙන් ම දන්නා හෙයින් තව ද ස්ථිර කරවනු ම නිසා “ආනන්‍දය! ස්ත්‍රීන්ගේ පැවිදිවීමට උත්සාහ නො කරව”යි වදාළ සේක. නැවත අනඳ මහතෙරුන් වහන්සේ “ස්වාමීනි! මහා ප්‍රජාපතී ගෝතමී පැවිදි ලැබ්බ යුත්තාහු ම ය”යි දැන් වූ සේක. නැවත බුදුහු එසේ ම ප්‍රතික්‍ෂේප කළ සේක. අනඳ මහතෙරුන් වහන්සේ තවත් නො පසු බැස “ස්වාමීනි! මහා ප්‍රජාපතී ගෝතමී පැවිද්ද ලැබ්බ යුත්තාහු ම ය”යි දැන්වූ සේක. නැවත බුදුහු “ආනන්‍දය! එසේ උත්සාහ නො කරව”යි ප්‍රතික්‍ෂේප කළ සේක.

එ කල අනඳ මහ තෙරුන් වහන්සේ පසුබැස්මක් නැති ව තමන් වහන්සේ බුදුන් කෙරෙහි ඉතා වල්ලභ හෙයින්, බුදුන් තුන් වාරයක් ප්‍රතික්‍ෂේප කළ හෙයින්, සතර වන වාරයෙහි ද දන්වාගත නොහී ප්‍රශ්නයක් විචාරණ පසාරයෙන් තව ද: එම කටයුත්ත බුදුන්ට දන්වන සේක් “ස්වාමීනි! පැනයක් විචාරනු කැමැත්තෙමි”යි කී සේක. ස්වාමිදරුවෝ තෙරුන් වහන්සේ නො පසුබැස කතාකරන ආකාරයෙන් සිතින් සමාධි ඇති ව “කැමැති පැනයක් විචාරව”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ “ස්වාමීනි! ස්ත්‍රී බුදුන්ගේ ශාසනයෙහි ඉදින් පැවිදි ලදුවාහු වූ නම් අධිගමයට භව්‍යයෝ ද, අභව්‍යයෝ දැ”යි විචාළ සේක. බුදුහු “ස්ත්‍රීහුභව්‍යයහ’යි වදාළ සේක. එබසට අනඳ මහ තෙරුන්සේ සිතින් කුල්මත් ව “එසේ කල ස්වාමීනි! ලොවුතුරා බුදුන් ලෝකයෙහි උපදිනේ ස්ත්‍රී ලෝකයා හැර පුරුෂ ලෝකයා ම සංසාර සාගරයෙන් ගොඩනගන නිසා ම දැ”යි දැන්වූ සේක.

එ වේලෙහි බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේගේ තර්කයෙහි තවද: ප්‍රිය ඇතිසේක් “එසේ නැත ආනන්‍ද ය, සර්වඥයෝ උභය ලෝකයා නිසා ම ඇතිවූහ. දිව්‍යනිකායෙහි බොහෝ ස්ත්‍රී ලෝකයා ගැළවෙන්නාහු ම වේ ද, මනුෂ්‍ය ලෝකයෙහි ස්ත්‍රී බොහෝ දෙනෙක් රජගහා නුවරදී මා තිරොකුඩ්ඩ සූත්‍රය දෙසූ දවස් නිවන් දුටුවාහු සුවාසූ දහසක් දන්මඩියෝ නො වෙද්ද, තවුතිසා භවනයෙහි දී මාගේ අභිධර්ම දේශනාවෙහි සසරින් ගැළවුනා වූ දිව්‍ය ස්ත්‍රී මෙතෙකැ යි පමණ ඇද්ද, මාගේ අසඞ්ඛ්‍ය මණ්ඩලවල දේවදේවතීන්ගේ අභිසමය ද සම සම යේ වි ය. මනුෂ්‍යලෝකයෙහි ස්ත්‍රීන් පැවිදි නො ලදත් සෝවාන් ආදි වූ මාර්ගඵල ලැබේ ම ය. එක දවස් විශාඛාවන් හා පන්සියක් කුලදූවරු සෝවාන් වූහ. තව ද: උත්තරාවන් හා පන්සියක් ස්ත්‍රීහු සෝවාන් වූහ. බන්‍ධුල මල්ලිකා දේවීන් හා පන්සියක් බිසෝවරු සෝවාන් වූහ. සාමාවතීන් හා පන්සියක් බිසෝවරු මා කී බණ අනුන් අතින් අසා අනාගාමී වූහ. පන්සියක් කළ මඬියෝ දවසෙක සෝවාන් වූහ. සුමනාව හා පන්සියක් ලදැරියෝ සෝවාන් වූහ. මෙසේ මෙසේ ම එකි එකී දවස් මාර්ග ඵල ලදුවා වූ ස්ත්‍රී ලෝකයා පමණ ඇද්ද; ආනන්‍දය! බුදුහු උභය ලෝකයා ම ගළවත් ය”යි වදාරා තව ද: අනඳ මහ තෙරුන් වහන්සේගේ ප්‍රතිවචනය අසන නිසා තුෂ්ණිම්භූත ව නො ගිවිස්සා සේ වැඩඋන් සේක.

එ වේලෙහි බුදුන් මේ කථාව වදාළ කල දෙවියෙක් බඹෙක් වී නමුත් එ බසට උත්තරයක් දැක්ක නො හේ ම ය. එසේ ද වුවත් අනඳ මහතෙරුන් වහන්සේ තමන් වහන්සේ බුදුන් අදහස් දන්නා නුවණ ඇති හෙයිනුත්, හේතුසම්පත් ඇති හෙයිනුත් පසුබැස්මක් නැති ව “ස්වාමීනි! නුඹවහන්සේගේ ශාසනයෙහි භික්‍ෂුණී ශාසනයක් ඇත මනා කාරණ ඇත්තාම වුව”යි දැන්වූ සේක. බුදුහු “කාරණ කියා බලගැ”යි වදාළ සේක. ස්වාමීනි! ස්වාමිදරුවන් ම වදාළ බුද්ධවංශ දේශනාවෙහි සූවිසි බුදුකෙනෙක් “ඛේමා උප්පලවණ්ණා ච - අග්ගා හෙස්සත්ති සාවිකා”යි යන මේ ගාථා පදය කුමක් නිසා සූවිසි වාරයක් කී සේක් දැ යි දැන් වූ සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ තමන් වහන්සේගේ අදහස් නො වරදවා ම ඔබ කීවාවූ විශේෂ වූ උත්තරය අසා අතිශයෙන් සන්තෝෂ වූ සේක්. තව ද මෑණියන් වහන්සේගේ ගුණ කථනය ඔබ ලවා ම කියවනු නිසා ඔබට ප්‍රතිකතාවට අවසර දී වැඩහුන් සේක. එකල අනඳ මහ තෙරුන් වහන්සේ “ස්වාමිදරුවන් තුෂ්ණිම්භූත වනු නො යෙදෙයි. ස්වාමිදරුවන්ගේ ශාසනයෙහි භික්‍ෂුණී ශාසනය ඇති වන නියාව සූවිසි බුදුකෙනකුනුත් වදාළ කල, පැවිදි ලද්දාවූ ස්ත්‍රීන් මාර්ගාධිගමයට භවය වන කල, ස්වාමීනි! මහාප්‍රජාපතී ගෝතමී කුමක් නිසා පැවිදි නො ලැබෙද් ද, ඔහු බුදුන්ට කෙසේ වූ අපරාධයක් කළෝ ද, අපරාධයක් කළ කෙනෙක් නොවෙති. බුදුන්ට බොහෝ වූ උපකාර කළ කෙනෙක. ඔවුන් බුදුන්ට කළා වූ උපකාර සිහි කළ කල දැන් බුදුන් විසින් කරන්නා වූ සියලු ලෝවැඩ ඔවුන් ම කළහ යි සිතමි. කෙසේ ද? යත්;

බුදුන්ගේ කුඩා මෑණියහ. ඉනු දු සෙසු කුඩා මවුන් හා සම කළ නො හැක්ක. ඔවුන් කුස බුදුන් නො උපන් බවක් මිස ස්වාමිදරුවන් උපන් සත්වන දවසින් මවු දේවීන් දෙව්ලෝ ගිය කල්හි කිරිමවක බුදුන්ගේ ශ්‍රී ශරීරයෙහි අතක් වකාපිය නො දී තමන් ස්වහස්තයෙන් ම වැඩූහ. බුදුන්ගේ හස්තපාදයන් ලද බිළිඳි ව ඉතා ම කෝමල කල්හි බුදුන්ගේ හස්තපාදයෙන් කළ මනා කෘත්‍යය ඔහු තමන්ගේ හස්තපාදයෙන් සම්පාදනය කළහ. ඒ කෙසේ ද? යත්;

බුදුන් පයින් ගමන් නො යාහෙන සමයෙහි ඔහු තමන් ඇකයෙන් වඩාගෙන ඨාන - නිසජ්ජා - චංක්‍රමණාදියෙන් ස්වාමිදරුවන්ට පාද කෘත්‍යයන් සාදා දුන්හ. තව ද බුදුන්ගේ ශ්‍රී හස්ත යුග්මයෙන් හස්ත කෘත්‍යයන් සාදාගත නො හෙන සමයෙහි ඔවුන් හස්තයෙන් හස්ත කෘත්‍යයන් සාදා දෙන ලද. එසේ හෙයින් උන්ගේ හස්තපාදයන් බුදුන්ගේ හස්තපාදයන් නො වෙති යි නො සිතමි. තව ද: මේ ලෝකයෙහි අන්‍යස්ත්‍රියකට අවිෂය වූ අද්භූත වූ ගුණයකු ද බුදුන්ට කළහ. ඒ කෙසේ ද? යත්;

බුදුන්ට කිරි මවුන් තෝරන සමයෙහි බුදුන්ගේ අසදෘශ වූ රූපශ්‍රී බලා උදාර වූ පෙම් බැඳ තමන් පුතණුවන් නන්‍ද කුමාරයන් කිරිමවුන්ට පාවා දී තුමූ බුදුන් වඩන්නාහු ඔවුන් දවසෙකත් තමන් තනය ඉඳුල් කොට මුව පාරවා පිය නො දී; නො ඉඳුල් පිරිසිදු තමන් තනයෙහි කිරි පොවා බුදුන් වැඩූහ. මේ මේ කාරණයෙන් මහා ප්‍රජාපතී ගෝතමී බුදුන්ට උපකාරයහ. පැවිදි ලැබීමට යෝග්‍යයාහු ය”යි දැන්වූ සේක.

එ වේලෙහි බුදුහු “එතෙකින් භික්‍ෂුණී ශාසන ප්‍රතිෂ්ඨාවට කල මා විසින් ආයාචනය ස්ථිර කරන ලදැ”යි සිතා අනඳ මහතෙරුන් වහන්සේගේ වාදයෙහි ප්‍රිය ඇති ව “එ බැවින් ආනන්‍දය, මහා ප්‍රජාපතී ගෝතමී මහණවනු කැමැතියා නම් අනන්තා පරියන්ත වූ බුදුන්ගේ ශ්‍රාවිකාවන් පූරණය කොට ආවා වූ ගරු වූ ධර්මයෝ අට දෙනෙක් ඇත. ඒ අටදෙනා පිළිගත්හු නම් එකෙණෙහි ම ඔවුන්ට, පැවිද්ද ද, උපසම්පදාව ද, වන්නේ වේ දැ”යි වදාළ සේක. එ බසට අනඳ මහතෙරුන් වහන්සේ “ස්වාමීනි! ඒ ධර්මයෝ අටදෙන නම් කවුරු දැ”යි විචාළ සේක.

ආනන්‍ද ය! ස්ත්‍රී ජාතිහු නම් ඉතා උත්සන්නයහ. චණ්ඩයහ. ක්‍රොධිනීයහ. කලහ කටැටියහ. පුරුෂයන් හෙළා ම දක්නාහ. මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කල පෙර කලට වඩා උත්සන්න වෙති. මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙළා දකිති. එසේ කල ඔවුන්ගේ මහණධර්ම අර්ථසිද්ධියට නො පැමිණෙයි. මාර්ගාවරණය වෙයි. එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක් බැන්දා සේ ස්ත්‍රීන්ගේ අභිමාන ශූන්‍ය වන්නා වූ ඔවුන්ට ම වැඩ වන ධර්මයෝ අට දෙනෙක. ඔහු කවරහ? යත්;

1. සියක් වස් ව ගියා වූ මෙහෙණින්නක් වී නමුත් මාගේ සස්නෙහි අද උපසම්පදා වූ සත් හැවිරිදි ලදරු වූ මහණ කෙනෙකුන්ටත් දුර දැක ම හුනස්නෙන් නැඟී පෙර ගමන්කොට වැඳ පුදා ආදර කළ මැනැව. මේ එක් ධර්මයෙක. 2. තව ද: භික්‍ෂුණීන් විසින් ස්වච්ඡන්‍දික ව ගිය ගිය තැන්හි වාසය කළ නො හැක්ක. මාගේ භික්‍ෂූන් වසන්නා වූ ජනපදයෙක එක්වරු ගොසින් වැඳපුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් වූ සමීප වූ මෙහෙණවරෙක ම වාසය කළ මැනැව. මේ එක් ධර්මයෙක. 3. තව ද: දෙපෝයෙන් දෙපෝය කඩ නො කොට භික්‍ෂූන් කරා එළඹ “ස්වාමීනි! පෞෂථ දිනය කවරේ ද? භික්‍ෂුණීන්ට අවවාද දුන මැනැවැ”යි ආරාධනා කළ මැනැව. මෙයි දු භික්‍ෂුණීන්ගේ එක් ධර්මයෙක. 4. තව ද: වස් අන්තයෙහි උභතො සඞ්ඝයා කෙරෙහි ම වස් පැවරුම මනා ම ය. මෙයිදු එක් ධර්මයෙක. 5. තව ද: ගරු ධර්මයෙන් නැගෙන්නා වූ භික්‍ෂුණීන් විසින් දෙපෝයක් උභතො සඞ්ඝයා කෙරෙහි මානත් පුරා නැංග මනාම ය. 6. තව ද: උපසම්පදාපෙක්‍ෂක වූ මෙහෙණින්නන් විසින් දෑවුරුද්දක් සික්ඛමාන ධර්මයන් පුරා උභතො සඞ්ඝයා කෙරෙහිම උපසම්පදාව ලද මැනව. මෙයි දු එක් ධර්මයෙක. 7. තව ද: කිසියම් කාරණයෙකිනු ත් මාගේ භික්‍ෂූන්ට ආක්‍රෝශ පරිභවයක් නො කළ මනාම ය. මෙහි දු එක් ධර්මයෙක. 8. තව ද: භික්‍ෂුණීන් විසින් මාගේ භික්‍ෂුණීන්ට අවවාද කිය නො හැක්කේ ම ය. භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කළ මනා ම ය. ඒ අවවාද ඔවුන් විසින් පිළිගත මනා ම ය. එයිදු එක් ධර්මයෙක. මේ ගරු වූ ධර්මයෝ අටදෙන නම් මාගේ සසුන් වන් මාතුගාමයන් විසින් දිවි පමණින් ඒකාන්තකොට රක්‍ෂා කළ මනා වූ ගුණධර්ම කෙනෙකැ යි වදාළ සේක.

එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ හුනස්නෙන් පැන නැඟී බුදුන් අතින් සමුගෙන මහා ප්‍රජාපතී ගෝතමින් වහන්සේ වැඩ සිටි තැනට ගොස් තුන් වාරයක් කොට තමන් වහන්සේ ඔබගේ ස්වරූප බුදුන්ට දැන වූ නියාවත් තුන් වාරයෙහි ම බුදුන් ප්‍රතික්‍ෂේප කළ නියාවත්, තමන් වහන්සේ නො පසු බැස බුදුන් හා ප්‍රශ්නව්‍යාජයෙන් නො එක් කථා කළ නියාවත්, පසුව මෙහෙණි සස්න අනුදන්වා ගත් නියාවත්, ගරු ධර්මයන් අටක් වදාළ නියාවත්, විස්තර කොට කියා ඒ ධර්මයන් අටදෙනා වෙන වෙන දක්වා ඔවුන්ටත් බුදුන් වදාළ පරිද්දෙන් ම කියාලා “මැහැනියෙනි! මේ ධර්මයන් අටදෙනා දැන් මා අතින් පිළිගතුයේ වී නම් නුඹට ද දැන් ම පැවිදි ලැබෙයි. භික්‍ෂුණී ශාසනය ද ඇති වෙයි. ඒ අෂ්ට ගරු ධර්මයන් පුරාගත හෙනුයේ දැ”යි විචාළ සේක.

එ කෙණෙහි පැවිදි ලැබෙයි කී බසට කේශාන්තය පටන් පාදාන්තය දක්වා ලොමු දහ ගන්වමින්, පස්වණක් ප්‍රීතින් පිනා බුදුන් දිශාවට දොහොත් මුදුන් දී සිට “යම් සේ ශිරස්තානය කොට සිටියා වූ යෞවන පුරුෂ ස්ත්‍රී කෙනෙක් සමන් මල් දමක් හෝ, මහනෙල් මල් දමක් හෝ, යොහොඹු මල් දමක් හෝ ලදින් දොහොතින් පිළිගෙන සන්තෝෂයෙන් තමන්ගේ උත්තමාඞ්ගයෙහි පිහිටුවා ගනිත් ද, එ සෙයින් මම ද මාගේ බුදුන් වදාළා වූ ඒ නිහතමාන වූ ධර්මයන් අටදෙනා පිළිගතිමි පිළිගතිමි පිළිගතිමි”යි තුන් යලක් කියා ඒ ධර්මයන් අටදෙනා පිළිගත් සේක. ඒ වචනය හා සමග උන්වහන්සේට ශාසන ප්‍රව්‍රජ්‍යාව විය. නව කෙළ දහස් අසූ සියක් කෙළ පනස් ලක්‍ෂ සතිස් සංවර ශීලයෙකින් යුක්ත වූ උපසම්පදා ශීලයද පහළ විය. සෙසු පන්සියක් බිසෝවරු ද එකෙණෙහි ම පැවිදි ව අෂ්ටගරු ධර්මයන් පිළිගෙන උභතො සඞ්ඝයා කෙරෙහි ම උපසම්පදා ශීලය ලදහ. එ කල ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ පන්සියක් බිසෝවරුන් හා සමග මෙසේ පැවිදි හා උපසම්පදා ශීලය ලදින්, උපන් මහා ප්‍රීතීන් පින පිනා වෙහෙරට වැද බුදුන් දැක වැඳ එකත් පස්ව සිටි දෑ ය.

එ වේලෙහි බුදුහු ඔබට අනුරූප වූ ධර්මදේශනාවෙන් සමාධි කරවා අනුශාසනා කොට “මෙයින් මත්තෙහි බුද්ධමාතාවෙනි! අප්‍රමාද වව. ස්ත්‍රීලෝකයට තොප නිසා ම මහත් වූ වැඩෙක් වෙයි. මාගේ භික්‍ෂුණී ශාසනයට තෙපි ම ප්‍රධානයහ. තෙපි ම රාත්‍රඥයහ”යි ස්ථානාන්තර හා මෙහෙණි සස්න පාවා දී චර්‍ය්‍යානුකූල වූ කර්මස්ථාන ඉගැන්වූ සේක. එ කල නොබෝ දවසෙකින් භාවනා කොට විදර්ශනා වඩා පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවා ත්‍රිවිධ්‍යා හා සමඟ සිවුපිළිසිඹියා පත් රහත් වූ සේක. සෙසු පන්සියක් මෙහෙණින්නෝ බුදුන් නන්‍දෙකෝවාද නම් සූත්‍ර දේශනාවෙන් නන්‍ද මහ තෙරුන් වහන්සේට ධර්මදේශනා කරන දවස් ඒ බණ අසා හැම දෙන ම අමා මහ නිවන් දුටහ.

එතැන් පටන් උන්වහන්සේ ම මුල් කොට බුදු සසුන් වැද මහණ ව අමාමහ නිවන් දුටුවා වූ ශ්‍රාවිකාවෝ සියයෙක, දහසෙක, ලක්‍ෂයෙක, කෝටියෙකැ යි යනාදිනු දු මෙ තෙකැයි පමණ නැතියහ. භික්‍ෂු ශාසනයට භික්‍ෂුණීශාසනය ම බොහෝ වුවා සේ ම දැනෙයි. භික්‍ෂුණී ශාසනයට භික්‍ෂුශාසනය ද බොහෝ ව ගියා සේ දැනෙයි. එක සරසියෙක පිපී වැනී ගියා වූ පද්මොත්පල රාශියක් සේ උභය ශාසනය ම ඉතා ගහන වි ය.

මෙසේ මාගේ බුදුන්ගේ ශාසනය රුවනින් පිරුණු මහා සමුද්‍රය සේ, මලින් ගැවසී ගත් පරසතු රුක සේ, ස්වර්ණාංකුරයෙන් ගැවසී ගත් මහදඹගස සේ, තරු පිපී වැනී ගිය අහස සේ, ඉතා ගහන විය. ඉතා සමෘද්ධ විය. ඉතා නිස්කලංක විය. ඉතා සශ්‍රීක විය. මුළු දඹදිව අහස්කුස බැලු බැලු දිශාවෙහි රන්වන් හංසරාජයන් පෙළ පෙළ යන්නා සේ ඇවිදුනා වු ශ්‍රාවකයන් හා ශ්‍රාවිකාවන්ගෙන් අතුරු නැතියේ ය. ඒ සා දඹදිව ධ්‍යාන සුවෙන් වැඩ හිඳිනා තරම් විවේක භූමි මඳ හෙයින්, දෙව්ලෝ නැගී දිව්‍යොද්‍යානවල ඒ ඒ රුක්මුල දෙවියන්ගේ ප්‍රාසාදවල වැඩහිඳ ධ්‍යානසුව විඳිනා ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කෙතෙක් දෙන ද, දිව්‍යප්‍රාසාදවල, කූටාගාරවල, හිඳිනා රහතන් වහන්සේ කෙතෙක් දෙන ද, බඹලොවට පැන නැඟී මහබඹුන්ගේ ප්‍රාසාදවල වැඩහිඳ ධ්‍යාන සුව විඳිනා ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කෙතෙක් දෙන ද, නාගභවනවලට ගොස් පෙර ඒ ඒ ජාතියෙහි බොහෝ දවසක් දිව්‍ය සුව අනුභව කළා වූ රම්‍යස්ථානවල වැඩහිඳ දිව්‍යනාග පූජා විඳිනා වූ ක්‍ෂීණශ්‍රාව ශ්‍රාවකයෝ කෙතෙක් දෙන ද, ගරුඬ භවනවලට පැන නැගී ගරුඬයන්ගේ පක්‍ෂ නමැති විතාන පූජා ලදින් නිවන් සුව විඳිනා වූ මහණ මෙහෙණින්නෝ කෙතෙක් දෙන ද, හිමවු කුළට නැඟී සුවාසූදහසක් රන්කුළු මුදුනෙහි සතර ඉරියව්වෙන් දවස් යවන්නා වූ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කෙතෙක් දෙන ද,

අසුරයන්ගේ භවනයට වැද ඒ ඒ තැන්හි සිත්සේ වාසය කරන්නාවූ රහත්හු කෙතෙක් දෙන ද, තත් තත් රාජ්‍යවල පෙර තමන් රජසුව විඳි උද්‍යානවල සිත් අලවා ගොස් වැඩ හිඳිනා රජ මහණුන් හා රජමෙහෙණින්නෝ කෙතෙක් දෙන ද සත්හැවිරිදි වයස බුදුසසුන් වැද මහණව අමාමහ නිවන් දැක එ කෙණෙහි ආකාශයට පැන නැඟී හිරි මඬුලු ආසන කොට ශාසන බල දක්වමින්, සඳමඬුළු පිටාටු කෙරෙමින්, මෙරගල් සක්වළගල් ලාලීවට කෙරෙමින් මහපොළෝ පත්කුඩ කෙරෙමින්, විෂඝෝර දිව්‍යනාග රාජයන්ගේ ඵෙණගබ් මතුයෙහි සක්මන් කෙරෙමින්, දෙවිබඹුන් ලවා සාධුකාර දෙවමින්, කලෙක තමන් භාවනා කරන ගෙවල සක්දෙව් රජුන් ලවා අසුර යුද්ධයෙහි රකවල් ගන්වමින්, තමන් වැළඳීමට වේලා ආසන්න වූ කල්හි හිරි දෙවියන් සඳ දෙවියන් ආකාශයෙන් ගමන් යා නොදී සෘද්ධිබන්‍ධනයෙන් බැඳ රඳවමින්, සිටි පොළ සිට මෙර පත්ලෙහි වැදහොත් සියදහස් යොදුන් දිව්‍යනාග රාජයන්ගේ කුසට අත ලා දාකරඬු ගන්වමින්, එකවිට හඬ ගෑ හඬින් දසදහසක් සක්වළ දෙවියන් බණට අඬගාවමින්, නො එක් පෙළහර දක්වමින්, දරු ලද්දවුන් සතුටු කඳුළෙන් තෙමවමින්, තුඩ තුඩ සාධුකාර දෙවමින්, ඇවිදුනා වූ මහණ-මෙහෙණි ළදරුවෝ කෙතෙක් දෙන ද,

මෙසේ මාගේ බුදුන්ගේ ශාසනය සමෘද්ධ වූ නියාව ත්, තුන් ලෝවාසීන් ඇස්හි ඵල ලද නියාවත්, සිත්හි ළුල ලද නියාවත්, කන්හි ඵල ලද නියාවත්, දිවි ඵල ලද නියාවත්, ලොව බුද්ධමය ව ගිය නියාවත් සද්ධර්මයෙන් ඉතිර ගිය නියාවත්, සඞ්ඝයාගෙන් රත්නමය ව ගිය නියාවත්, මාගේ සියක් දහසක් ලක්‍ෂයක් මුඛ නැති හෙයින් මා සිතට විශේෂයෙන් දැනී ගියා සේ අසන්නවුන්ට හඟවාලීම මෙ පමණකින් භාරකම ය. මට සේ ම සියලු සත්ත්‍වයන්ට ම මාගේ බුදුන්ගේ මහිමය විශේෂයෙන් ම දැනී ගියේ වී නම් මේ ලෝකයෙහි තුණුරුවනෙහි පෙම් නො කරන්නෝ කවුරු ද, සතර අපාය හඳුනන්නෝ කවුරු ද, දෙව්ලෝ නො හඳුනන්නෝ කවුරු ද, සඟ මොක් සුවයෙන් නො පිනන්නෝ කවුරු ද,

මේ ජාතියෙහි පටන් මාත් බුදුවන ජාති දක්වා මට උපන් මේ තුණුරුවන් කෙරෙහි සන්තෝෂය මාගේ සිතින් නො මිදේ ව යි, මතු එක පදික ගාථාවක් පමණ අසා සියලු සද්ධර්මයන් දරා ගන්නා වූ ඥාන සම්පත්තීන් පිනම්ව යි, උපනුපන් බුදුන්ගේ ශාසනවල ද හිරු සේ, සඳු සේ, ප්‍රසිද්ධ ව සසුන් බබුළුවම්වයි, මට මේ සා වැඩක් කළ මවුන් පියන් ගුරුන් ආදි වූ සියලු සතුනු දු සසර සයුරෙන් ගොඩ නඟා ලෝවැඩ කෙරෙම්ව යි,

මෙසේ මාගේ ස්වාමි දරු වූ ගෞතම නම් බුදුරජාණන් යථෝක්ත වූ ශාසනශ්‍රීන් දිලියෙන කල්හි දවසෙක දෙව්රම් වෙහෙර බ්‍රහ්මාමර නර නාග නයන රසායන වූ ධර්මමණ්ඩපයෙහි ධර්මාසනයෙහි සවණක් රසින් දිලිහි දිලිහී කසුන් මෙරක් සේ සද්ධර්ම ලීලාවෙන් වැඩහුන් සේක. එ දවස් අශීති මහාශ්‍රාවකයෝ ම අනූන වූ පන්සිය පන්සිය සඟපිරිස් ගෙන අවුත් ඡද්දන්තවිල සිසාරා පිපී වැනී ගියාවූ රත්පියුම් වනයක් සේ ධර්මමණ්ඩලය සිසාරා අතුරු නො දී උන්හ. ඒ සඟපෙළ සිසාරා රක්තොත්පල වනයක් සේ මහාප්‍රජාපතීන් වහන්සේ ආදි වූ ශ්‍රාවිකාවෝ පෙළෙක් අතුරු නො දී උන්හ. ඒ මෙහෙණිනි පෙළ සිසාරා මංජූෂ්ක වෘක්‍ෂ සේ ස්වර්ණාභරණයෙන් සැරහී නා නා වර්ණ වස්ත්‍රයෙන් අලංකෘතව රජ බමුණු වෙළඳ ගොවි සිවු සෙනඟක් මිශ්‍ර වූ පියුම් වනයක් සේ හිඳගත්හ. ඒ පිරිස සිසාරා ශක්‍රපුරයෙහි දෙවඟනන් එපුරෙන් අවුත් මිහිමඬලට බැසපී කලක් සේ, දහසක් අගනා කසි සළු හැඳ දෙදහස් අගනා උතුරු සළු කරලා, ලක්‍ෂ අගනා ගෙල මුතුදම් පැළඳ, අනැගි වූ සිරිකණින් ශ්‍රිකාන්තාවන් සේ සැදී ස්ත්‍රී සේනාවෙක් දිව අවුදින් මුඛ නමැති පියුමෙන් හා, ඇස් නමැති නිලිපුලයෙන් හා, දත් නමැති කොඳකැකුළෙන් හා, බුදුන් පූජා කරන්නවුන් සේ දොහොත් මුදුන් දී බසින් බසට සාධුකාර දිදී අතුරු නො දී වතුරක් සේ උන්හ.

මෙසේ සිවුවණක් මහ පිරිස මිහිමඬල ගලා හුන් කල්හි ඒ බවු දත් චාතුර්මහාරාජික, තාවතිංස, වශවර්ති, බ්‍රහ්මි යයි යන චාතුර් වර්ණ දිව්‍යසේවා දිව දිව අවුදින් සියලු ගුවන්කුස සක්වළ ගල් සිසාරා සිතියම් කඩක් ඇන්දා සේ, අහස්කුස පුරා සාධු නාදයෙන් තුන්ලෝ පුරා සිට ගත්හ.

මෙසේ මේ අට මහ පිරිස ආකාශය හා පොළොවෙහි බුදුන් පිරිවරා සිටි කල්හි ස්වාමිදරුවෝ සියලු සතුන් සිත් බලා, ආකාර බලා, චන්‍ද්‍රොපමාවෙන් දසදිග් බලා වැඩහිඳ ලීලොපෙත අෂ්ටාඞ්ග සමුපෙත දේශනාවෙන් ධර්මනාද නමැති මේඝනාදයෙන් හා, දන්ත නමැති බලාකා පංක්තීන් හා, කන්වැල් නමැති විදුලියෙන් හා, බැම නමැති දෙව්දුන්නෙන් හා, මස්තක නමැති මේඝකූටයෙන් හා විරාජමාන වූ සද්ධර්ම නමැති මහා වර්ෂාව වස්වා දිව්‍ය මනුෂ්‍ය නමැති විනේය ජන සත්ත්‍වයන් අමෘතාභිෂේකය කරන්ට පටන් ගත් සේක.

මෙහෙණින්නන්ගේ ස්තුති පූජා

එ වේලෙහි බුදුන්ගේ සද්ධර්මලීලා හා ශ්‍රී විභූතිය දැක, මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ පෙර තමන් වහන්සේ චුල්ලධර්මපාල ජාතක චුල්ලනන්‍දිය ජාතකාදී නො එක් ජාතිකෝටියෙහි මවුව ත් අවුදින් කෙළවර බුදු වූ ජාතියෙහිද මහපෙම් කළා වූ පුත්‍ර ස්නේහය, බුද්ධස්නේහය, ධර්මස්නේහය යි ත්‍රිවිධ වූ ප්‍රේම නමැති මහ වතුරෙන් සොලවන ලදුව ඉපිල නැංගා සේ හුනස්නෙන් පැන නැගි දොහොත් මුදුන් දී සිට මෙසේ මහ පිරිසට ඇසෙනසේ ස්තුති කරන සේක්;

බහුන්නං වත අත්‍ථාය - මායා ජනයි ගොතමං,

බ්‍යාධිමරණ තුන්නානං - දුක්ඛක්ඛන්‍ධිංබ්‍යපානුදී-යි.

යන මේ ගය කිය කියා “සාධු සාධු ම පුතණුවෙනි, ශ්‍රීමත් වූ ගෞතමයෙනි, මෙ බඳු වූ ශ්‍රීයෙක් තවත් නුඹට ම වඩ වඩා වේව යි නුඹ නිසා මුළු ලෝවාසීන්ට මේසා මහත් වූ වැඩෙක් වී ය. මා බූනැනියෝ මහාමායා දේවී ඒකාන්තයෙන් මුළුලොවට වැඩ නිසාම මෙතෙක් සත්ත්‍වයන් අතුරෙන් නුඹ වැනි පුත් රුවනක්ම වදා ලූ දෑ ය. එසේ හෙයින් මේ නුඹ කරන ලෝවැඩෙකැ යි නො සිතමි. මා බූනැනියන් මහාමායා දේවීන් ම මේ ලෝවැඩ කළහ යි සිතමි”යි බුහුනැනියන්ගේ ගුණව්‍යාජයෙන් බුදුන්ට ස්තුතිකොට පියා නැවත බුදුන්ට ආ වැඩුව මනා කාරණයක් දැක:

චීරං ජීව මහාවීර - කප්පං තිට්ඨ මහාමුනෙ!

සබ්බලෝකස්ස අත්‍ථාය - භවස්සු අජරාමරො - යි.

යන මේ ගාථාව කියා “මහත් වූ වීර්‍ය්‍ය ඇති බුදුරජාණෙනි! චිරාත් කාලයක්ම ජීවත් වුව මැනැව. මුළු ලොවට වැඩ පිණිස කපක් මුළුල්ලෙහි වැඩහිඳිනේ මැනව. අජරාමර වුව මැනැව”යි කියා බුදුන්ට ආ වැඩූ දෑ ය. එ බස හා සමග තුන්ලෝ පුරා සිටි මහ පිරිස ද “චිරං ජීව මහාවීර!”යි කියා එකපැහැර බුදුන්ට ආ වඩන්නාහු බඹලොව දක්වා කෝලාහල කළහ.

එ වේලෙහි බුදුහු මහ පිරිස සන්හුන් කළ “මහාප්‍රජාපති ගෝතමීනි! සර්වඥවරයන්ට ආ වඩන්නේ නම් තෙල සේ නො වෙ”යි වදාළ සේක. කෙසේ ද ස්වාමීනි යි විචාළ දෑ ය. බුදුහු වදාරණ සේක් “සර්වඥවරයෝ නම් ශ්‍රාවකයන් ම ආභරණ කොට ඇතියහ. වල්ලභයන්ගෙන් ශෝභාවත් වූවා සක්විති රජුන් වැනියහ. තාරකාවන්ගෙන් ශෝභාවත් වන්නා වූ සඳ දෙව්පුත් වැනියහ. බුදුහු සමඟ වූ ශ්‍රාවකයන් ම දකිනා කැමැතියහ. එසේ හෙයින්:

ආරද්ධවිරියෙ පහිතත්තෙ - නිච්චං දළ්හ පරක්කමෙ,

සමග්ගෙ සාවකෙ පස්සෙ - එසා බුද්ධාන වන්‍දනා - යි.

යන මේ ගාථාව උගන්වා “අනූන වූ ශ්‍රාවකසඞ්ඝයා බල බලා වැඩහුන මැනැවැයි කියව. එසේ වූ වචනය බුදුන්ට ආ වැඩුම් නමැ”යි වදාරා එ තෙනට අනුරූප වූ දේශනාවෙන් බණ සමහර කොට මහපිරිසට සමු දී යවා වදාළ සේක. එ වේලෙහි සතර මහ සතර ඵලයට පැමිණියා වූ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාදී දිව්‍ය, බ්‍රහ්ම, ගරුඩ, නාග සංඛ්‍යාත වූ අෂ්ටප්‍රකාර වූ මහපිරිස බුදුන්ට අප්‍රමාණ වූ පූජා කොට ගියහ.

මෙසේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයිනුදු, කෙලෙස් නමැති සතුරන් නැසූ හෙයිනු දු, සංසාර චක්‍රයාගේ අර බුද්ධඥාන නමැති කෙටේරියෙන් පළා සුණුවිසුණු කොට, මූලොච්ඡින්න කොට, නැසූ හෙයිනු දු තමන් වහන්සේ රහසත් පව් නො කරන හෙයිනු දු, මෙසේ මෙසේ වූ ආමිෂ ප්‍රතිපත්ති සංඛ්‍යාත වූ අසාධාරණ වූ, පූජා ලැබීමට සුදුසු හෙයිනු දැයි යනාදි වූ, අනෙකප්‍රකාර වූ, අර්ථයෙන් මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි.

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං - යි.

මේ පූජාවලියෙහි

අප බුදුන් මහා ප්‍රජාපත්‍යාදි පන්සියයක්

ශාක්‍ය මෙහෙණින්ගෙන් ලද

භික්‍ෂුණී ශාසනොත්පත්ති - ප්‍රතිපත්ති පූජා කථා නම් වූ සවිසි වන පරිච්ඡේදය නිමි.

ආදාහන පූජා කථා

මහා ප්‍රජාපතී ගෝතමීන් පෙළහර පෑම

තව ද: උන්වහන්සේ ම අනූන වූ ශ්‍රාවිකාවන්ගෙන් ලද පළමු වන ආදාහන පූජා නම් කවර? යත්;

මෙසේ ඒ මහාප්‍රජාපති ස්ථවිරීන් වහන්සේ යට කී ක්‍රමයෙන් බුදු සසුන් වැද මහණ ව, අමාමහ නිවන් දැක, භික්‍ෂුණී ශාසනය ඇති කරවා, බුදුන්ට උත්තම ප්‍රතිපත්තීන් පුද පුදා, සියලු දෙව්මිනිසුන් අතින් තමන් වහන්සේ ද, නො එක් පූජා ලැබෙමින් විශාලා මහනුවර ලිච්ඡවී රජුන් විසින් තමන් වහන්සේට කරවා පිළිගන්වන ලද මෙහෙණවර ම වාසය කොට, එම රජුන්ගෙන්ම දෙන ලද සිවුපස දානය වළඳ වළඳා කලින් කලට ගොස් බුදුනුදු දැක දැක දහම් අස අසා එන සේක. බුදුහු ද කලින් කලට එනුවරට ගොස් උන්වහන්සේ ආදි වූ සියලු සතුන්ට ලෝවැඩ කෙරෙමින් දනවු සැරිසරාත් වැඩවදාරණ සේක් ම ය. එක් කලෙක බුදුරජාණෝ අසූමහ සව්වන් ප්‍රධාන වූ සතළිස් දහස් පන්සිය එකාසූවක් මහණ ගණ පිරිවරා විශාලා මහනුවරට වැඩ වදාළ සේක.

එ කල සත්දහස් සත්සිය සත් ලිච්ඡවි රජුන් හා, එම තෙක් බිසෝවරුන් හා, සිංහාදි සිටුවරුන් හා, අම්බපාලිකාදී ගණිකාවන් හා, නො එක් ශ්‍රද්ධාවන්ත සත්ත්‍වයෝ බුදුන් පෙරමගට නොයෙක් පූජාභාණ්ඩ ගෙන ඔවුනො‘වුන් පරයා ගොස් මහත් වූ උත්සවයෙන් බුදුන් වඩා ගෙන වුත් කූටාගාර ශාලාවෙහි ලූහ. එ නුවර රුවන් සූත්‍රය දේශනා කොට, ජනපදරෝග භය පලවා, පොකුරු වැසි වස්වා, බුදුන් තමන්ට සුවසෙත් කළ තැන් පටන් එ නුවර වාසීහු බුදුන් යම් කලෙක තමන්ගේ නුවර දී දුටුවූ නම් මෙසේ ම පෙර ගමන් කොට ගොස් බුදුන් පුද පුදා එ දා පටන් සත් සත් දවස් බුදුන් දුටු සතුටෙහි උත්සව කෙළි කෙළනාහ. එසේ හෙයින් එ දවසුදු උත්සවයට පටන් ගත්හ.

එ දවස් මහාප්‍රජාපතී ගෝතමීන් වහන්සේ ද, බුදුන් වැඩි පවත් අසා සකසා හැඳ පෙර ව, පාත්‍ර ධරා පන්සියක් ශාක්‍ය මෙහෙණින්නන් පිරිවරා මණි කවච ලූ පන්සියක් ඇතිනි පෙළක් සේ බුදුන් පෙරමඟට ගොස් බුදුන් පුද පුදා වෙහෙරට වඩා පුතණුවන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ සමෘද්ධියක් හා බුදුන්ගේ ශෝභා දැක ගති සන්තෝෂයෙන් පින පිනා නැවත තමන් වහන්සේගේ මෙහෙණවරට ගොස් අර්ධපර්‍ය්‍යංකයෙන් වැඩ හිඳ මෙසේ සිතූ සේක. කෙසේ ද? යත්;

ම පුතණුවන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉතා අනූනයහ. ඉතා සමගීයහ. ශ්‍රාවකයෝ බුදුන්ට හොබනාහ. බුදුහු ශ්‍රාවකයන්ට හොබනාහ. ආ වඩන කල පවා ශ්‍රාවකයන් හා සමඟ තමන් වහන්සේ දිගා වන සේ ආ වඩන සේක. එසේ හෙයින් බුදුහු අනූන වූ ශ්‍රාවකයන් කැමැති සේක. කිමෙක් දෝ හෝ මේ වකට බුදුන්ගේ ශ්‍රාවකයන් අතුරෙන් ඌනයක් වූ කෙනෙක් ඇද්දෝ, නැද්දෝ හෝ යි බලා බුදුන් බුදු වූ දවස් පටන් පිරිනිවන් පෑ එක ශ්‍රාවක කෙනෙකුන් නැති සේ දැක ඉතා සන්තෝෂව “අහෝ සාධු අහෝ සාධු යි” තුන්යලක් ප්‍රීතීන් උදන් අනා ම පුතණුවන් වහන්සේගේ ශාසනයෙහි ඌනයෙක් කවර කලෙක වේ දෝ හෝ යි අනාගතය බලා නොබෝකලෙකින් අඤ්ඤාකොණ්ඩඤ්ඤ-ශාරිපුත්‍ර, මෞද්ගල්‍යායන, ඛේමා, උත්පලවණ්ණා, නන්‍ද, රාහුල, යශෝධරාදි මහ පින්වත් ශ්‍රාවකයන් හා ශ්‍රාවිකාවන් බුදුන්ට පළමු කොට පිරිනිවන් පෑ නිවන්පුර යන නියාවත් පසුව බුදුන්ගේ ද පරිනිර්වාණය වන නියාවත්, සියලු සංස්කාරධර්මයන් අනිත්‍යමය නියාවත් ලෝකවාසීන්ට ප්‍රත්‍යක්‍ෂ වන නියාවත් කරතලාමලකයක් සේ දැක මාගේ බුදුන්ගේ ශාසනයෙහි මතු වන්නා වූ ඌනතාව මා වැනියන් දක්නේ නො යෙදෙයි. මපුතණුවන්ගේ අසමෘද්ධියක් නො දකිම් ම ය.

මවුපියන්ගේ පරිහාණිය, දරුවන් දැකීම ලෝකසාධාරණ වූ ධර්මයෙක, දරුවන්ගේ පරිහාණිය, දෙමවුපියන් දැකීම නම් ඉතා නුදුටුව මනා ධර්මයෙක, එසේ හෙයින් මා ම පළමුකොට ම පුතණුවන් දැක්කදී ශාන්ති පුරයට නික්මුන මනා ම ය; මාගේ අභිඥා සෘද්ධිබලයෙන් කෙතෙක් කල් ජීවත් වෙම් නමුත් පොහොසත්මි, එයි දු රහතුන්ගේ ධර්මයෙක් නො වෙයි. මාගේ මෙ වකට වයස් කෙතෙක් දෝ හෝ, බලන සේක් තමන් වහන්සේ පඤ්චකල්‍යාණයෙන් යුක්ත වූ ස්ත්‍රීන් කෙරෙහි අන්තර්ගත වූ හෙයිනුත්, මහත් වූ පින්බල ඇති හෙයිනුත්, බුද්ධ මාතා වූ හෙයිනුත්, එවක දක්වා ඉස නරකෙන්දකුත් නො නැඟි, දන්තචලනාදි විළි පිලියක් නැතිව, සොළොස් හැවිරිදි වයසක් සේ පෙනෙන බවක් මිස එක් සිය විසි හවුරුද්දක් වයස් ගියේ ය යි දැක ආයු සංස්කාරය ද එවකට කෙළවර වූ සේ දැක බුදුන් දැක අවසර ඉල්වාගෙන නිවන් පුරයට ශ්‍රාවකයන්ට පළමු ව මා ම නික්මුන මැනැවැයි සිතූ සේක. එ කෙණෙහි ඒ සිත හා සමග මහපොළොව ද වෙවුලා පැනනැංග, ආකාශය ද ගුගුරා පැනනැංග.

ඒ පෙළහරෙහි කුහුල් වූ සිත් ඇති පන්සියක් ශාක්‍යමෙහෙනින්දෝ තමන් තමන්ගේ නිවාසයෙන් ඔබගේ ආවාසයට රැස්ව වැඳ සිට “ස්වාමීනි! අහස් පොළෝ ගිගුම් දුන් කාරණ කිමෙක් දැ”යි විචාළහ. දරුවනි! අනෙකක් නිසා නො වෙයි. මාගේ සිතිවිල්ලක් නිසා ම උපන්නා වූ පෙළහරෙක් ම ය. “මාගේ බුදුන්ගේ ඌන වූ ශාසන ය නො දැක පළමු කොට නිවන්පුර යෙමි”යි සිතීමි. මේ කාරණයෙන් අහස් පොලෝ ගුගුරුවාලු පෙළහර විය. නිවන්පුර යනු සඳහා බුදුන් අතින් දැන් අවසර ඉල්වා යෙමි යි කී දෑ ය. එ බස් අසා පන්සියක් මෙහෙණින්නෝ ද “එ බැවින් ස්වාමීනි! තාරකාවන් සිටිය දී එකලා සඳහු ගමන් යන කල නො හොබනා සේ, අප හැම සිටිය දී නුඹ වැනියන් එකලා ව ම නිවන්පුර යන කල ඉතා නො හොබනේ ය. මහණවන දවසු දු නුඹ හා එක්ව ම මහණ වුම්හ සසිරින් ගැළවෙනු වමෝ ත් එක් වලා ම ගැළවීයම්හ. දැන් නිවන් පුර යන දාත් එක් වලා ම යම්හ යි වෙන වෙන කියා සිටියහ.

එ වේලෙහි යහපතැයි ගිවිස ඒ පන්සියයක් මෙහෙණින්නන් පිරිවරා මෙහෙණවරින් නික්ම මෙහෙණවරට අරක් ගත් දෙවියන්ට පින් දි, එ පවත් අසා පෙර මඟට රැස් වූ සත් දහස් සත් සිය සත් බිසෝවරුන් ආදි වූ බොහෝ ස්ත්‍රී සමූහයාට ඔවා තෙපුල් දී, කූටාගාර ශාලාවට ගොස්, බුදුන් දැක වැඳ එකත්පස් ව සිට දොහොත් මුදුනෙහි තබාගෙන මෙසේ දන්වන සේක.

“අහං සුගත තෙ මානා - ත්‍වඤ්ච වීර පිතා මම,

සද්ධම්මසුඛදො නාථ - තයා ජාතම්හි ගොතම.

.

සංවඩ්ඪිතො‘යං සුගත - රූපකායො මයා තව,

අනින්‍දිතො ධම්මතනු - මම සංවඩ්ඪිතො තයා.

.

මුහුත්ත තණ්හා සමණ - ඛීරං ත්‍වං පායිතො මයා,

තයා‘හං යන්තමච්චන්තං - ධම්මඛීරම්පි පායිතා.

.

වඩ්ඪනාරක්ඛණෙ මය්හං - අණනො ත්‍වං මහාමුනි,

පුත්තකාමිත්‍ථියො යාව - ලභන්තං තාදිසං සුතං.

.

මන්‍ධාතාදි නරින්‍දානං - යා මාතා තා භවණ්ණවෙ,

නිමුග්ගා‘හං තයා පුත්ත - තාරිතා භවසාගරා.

.

රඤ්ඤො මාතා මහෙසී‘ති - සුලභං නාමමිත්‍ථිනං,

බුද්ධමාතාති යං නාමං - එතං පරමදුල්ලභං.

.

තඤ්ච ලද්ධං මහාවීර - පණිධානං මම න්‍වයා,

අණුකං වා මසන්තං වා - තං සබ්බං පූරිතං තයා.

.

පරිනිබ්බාතු‘මිච්ඡාමි - විසායෙ‘මං කලෙබරං,

අනුජානාහි මෙ වීර - දුක්ඛන්ත කර නායක.

.

චක්කංකුස ධජාකිණ්ණෙ - පාදෙ කමල කොමලෙ,

පසාරෙහි පණාමං තෙ - කරිස්සං පුත්ත පෙමයා.

.

සුවණ්ණරාසි සඞ්කාසං - ශරීරං කුරු පාකටං,

දිස්වා දෙහං සුනිට්ඨං තෙ - සන්තිං ගච්ඡාමි නායක”යි.

යන මේ විසිතුරු වූ ගාථාවන් කියා “දෙතිස් මහාපුරුෂ ලක්‍ෂණයෙන් හා, අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් හා, අනූපම වූ රූපකායෙකින් කප් රුකක් සේ බබළන්නා වූ ශ්‍රීවන්ත වූ ම පුතණුවන් වහන්ස! ගෞතම නම් බුදුරජාණෙනි! නුඹ පා පිසපූ බිස්ස පවා දෙවිබඹුන්ට මුදුන් මල් කළා වූ වීර පුරුෂයාණෙනි! පෙර මම නුඹට ධම්මපාල ජාතක චුල්ලනන්‍දිය ජාතකාදි නොඑක් ජාතිවල දී මව වූ ම අයිමි. මේ ජාතියෙහි කුසින් නො වැදූ බවක් මිස නුඹට මහ පෙම් කොට කිරි මවු කම් කෙළෙමි. එසේ හෙයින් මම නුඹගේ මෑණියෙමි. නුඹ මගේ දරු දෑ ය. එසේ බවක් මිස පෙරළා මෙම ජාතියෙහි ම ආර්‍ය්‍ය කුසින් වදාලූ හෙයින් මම නුඹගේ දියණියෙමි. නුඹ මාගේ පියාණහ.

තව ද: ස්වාමීනි! මම පෙර නුඹවහන්සේගේ තෙල රූපකාය පමණක් පෙම් කොට වැඩීමි. දැන් නුඹවහන්සේ ශාන්ත වූ, දාන්ත වූ, අජර වූ, අමර වූ, මාගේ ධර්මකාය සකසා වඩාලන ලද එසේ හෙයින් මා නුමට කළ දරුමාකමට නුඹ දැන් මම් කළා වූ දරු මා කම් ම සිය දහස් ගුණයෙන් වඩනේ ම ය.

තව ද: මොහොතක් කල් තෘෂ්ණාවගේ සමනය කරන්නා වූ මා තනයෙහි කිරිපොවා, පෙර මම නුඹ නළවා ඇවිද්දෙමි. දැන් නුඹවහන්සේගේ සදහම් තෙනෙහි තුඩ තබා නිවන් නමැති අමා කිරි බී සංසාරව්‍යසනයෙන් නැළමුම් ලදින් නුඹ විසින් අපමණ වූ සංග්‍රහ ලදිමි. එසේ හෙයින් පෙර මා නුඹට පෙවූ තනකිරට දැන් නුඹ විසින් මා පෙවූ නිවන් අමා කිරි ම රසයෙන් උතුම් ම ය. අසමාන ය.

තව ද: මපුතණුවන් වහන්ස! පෙර නුඹ බාලකල රජගෙන් පිටත්ව ලා අසූදහසක් රජකුමරුවන් පිරිවරා තරු පිරිවැරූ පුන්සඳ සුඟක් සේ ඒ ඒ තැන්හි කුමරකෙළි කෙළ ඇවිදුනා කල්හි, මම නුඹ රාජාඞ්ගනයෙහි බලා නො දැක ඒ ඒ තැන්හි සොයා ඇවිදිනෙම්. නුඹ දුටු කෙණෙහි ම දෑතින් වඩා මා තනතුරෙහි පිහිටුවා ගෙන වැසි සුළං ආතප ගව මහිෂාදි සතුන්ගෙන් පිඩා විය නොදි, මහ පාවලට නැගී ශ්‍රීයහන්වල සතපා බඩ දී වැදහෙව නළව නළවා නිදිගන්වා ලෝකයෙහි සියලු මවුන් සියලු දරුවන්ට ම කරන්නා වූ සාධාරණ වූ දරුසාන්තකමක් අසාධාරණ වූ නුඹට කෙළෙමි. හිමියාණෙනි! නුඹ විසින් දැන් සංසාරව්‍යසන නමැති දුදුලට වැද, කෙලෙස් සොරුන්ට හසු ව සංසාර බන්‍ධනයෙන් දුක් ගන්නීය. මා කරුණා-මෛත්‍රී නමැති උභය හස්තයෙන් වඩාගෙන සසුන් නමැති තනතුරෙහි පිහිටුවා මාර්ගඵල නමැති රථයෙන් ගෙනගොස් නිවන් නමැති මහපායෙහි ධ්‍යාන නමැති ශ්‍රීයහනට නඟා දහම් නමැති නැළවිල්ලෙන් නළව නළවා, සමවත්සුව නමැති අමා නිඳි නිඳවා අනික් මවකට පියකුට අවිෂය වූ, අද්භූත වූ, මවුපිය සනා කරන ලද. එසේ හෙයින් මා විසින් නුඹට කළා වූ පුත්‍ර ස්නේහයට නුඹ මට කළා වූ දරු ස්නේහය ද සුවහස් ගුණෙන් වඩනේ ම ය. එසේ හෙයින් මා නැළවූ නැළවිල්ලට නුඹ නැළවූ නැළවිල්ලම උතුම් වූ නැළවිලි ම ය. මේ මේ කාරණයෙන් බුදු උතුමාණෙනි! නුඹ මස්සෙකින් සංග්‍රහ කළාට සුවහස් පියලි දුන් උදාර පුරුෂයක්හු වැනි දෑ ය. එසේ හෙයින් මා විසින් කළා වූ වැඩීමෙහි රැකීමෙහි මාතෘ වනයෙහි නුඹවහන්සේ අනූන වූ දෑ ය. මාතුපට්ඨාන ධර්මයෙහි පැමිණි දෑය. මෙලෙව්හි පුතුන් පතන්නා වූ, වදන්නා වූ නුඹ වැනි සිරිබර පුතුන් ම පතත් ව යි වදත් ව යි කුසෙහි දස උපන්නා වූ දරුපෙම් හා, දරුසිරි මුළුලෙව්හි ම පින්”

මා විසින් කළාවූ වැඩීමෙහි රැකීමෙහි මාතෘ ධර්‍මයෙහි නුඹවහන්සේ අනූන වූ දෑ ය, මාතුපට්ඨාන ධර්‍මයෙහි මුදුන් පැමිණි දෑ ය; මෙලෙව්හි පුතුන් පතන්නාවූ, වදන්නාවූ ස්ත්‍රී නුඹ වැනි සිරිබර පුතුන් ම පතත් ව යි වදත් ව යි දැන් මට උපන්නාවූ දරුපෙම් හා දරුසිරි මුළුලෙව්හි ම පින්වත් සියලු කුල ස්ත්‍රීන්ට ම ලැබේව යි මා කළාවූ පින් සියලු ස්ත්‍රී ලෝකයා ම කෙරෙත්වයි. කාරණා කිම? යත්:

මහාමන්ධාතාදි සක්විති රජුන් පවා වැදූ මවු සංසාර සාගරයෙහි ගැලී, දැන් දක්වා ගොඩක් නො දැක ඇවිදිනාහු, ඔවුන් වැදූ කුසින් කලෙක චණ්ඩාලයන් වදති, කුරුකුහුඹුවන් වදති, නා පොළොන් ගැරවිල් ඈ දිග් දැහැයන් වදති, ගවමහිෂයන් වදති, තව දක්වා තෙරක් නො දකිති, මම වනාහි සංසාර සාගරයෙහි නොඑක් ජාතියෙහි නුඹ වදා මේ ජාතියෙහි මා බූනැණියන් වැදූ නුඹ වැඩූ පින් පමණෙකින් සංසාර සාගරයෙන් ගොඩ නැඟී නිවන් මහමියර බය නැති ව ශ්‍රී විඳිමින් සිටියෙමි, පෙර සසර මා ඇවිදිනා කල ද එක නම් එක පුතකුට - දුවකට - එක මවකට - පියකුට - හිමියකුට හැඩූ කඳුලට සතර මහා සාගරයෙහි දිය මඳ ම ය, කඳුළු බොහෝ ම ය, නො මළ තැනෙක් නැත, නො උපන් කුසෙක් නැත, නො වැදූ සතෙක් නැත, එසේ වූ මම දැන් නුඹට මවු වූ පිනින් අනිකකු නො වදමි, අනික් කුසෙකින් නො උපදිමි, අජර වීමි, අමර වීමි, අමාමහ නිවන් දිටිමි, මේ මේ කාරණයෙන් මා ලදුවා වූ පුත්‍රසම්පත් ලද්දාවූ අනික් ස්ත්‍රියක් නැත.

රජුන්ට මවු වන්නා වූ, අගමෙහෙසිනි වන්නා වු, තනතුරු ලබන ස්ත්‍රී මේ ලෝකයෙහි සුලභ වන්නාහ, බුද්ධමාතාවෝ යයි යන මා වැනි වූ ස්ථානාන්තර ලද ස්ත්‍රී කප් ලක්ෂයෙකිනු ත් අසඞ්ඛෙය්‍යයකිනුත් දුර්ලභ වන්නාහ, සෙසු කල් තබා මේ සාරා සඞ්ඛ්‍යය කප් ලක්ෂය ඇතුළත උපන්නා වූ රාජමහිෂිකාවරු අසංඛ්‍යය ගණන් වූ ය, රාජමාතාවරු අසංඛ්‍යය ගණන් වූ ය, බුද්ධමාතාවරු ඇම අටවිසි දෙනෙක් වූ ය, මේ ආදි කාරණයෙනුදු මා ලදුවා වූ ස්ථානාන්තර ලබන්නාවූ ස්ත්‍රී ඉතා දුර්ලභයහ, එසේ හෙයින් ස්වාමීනි! මම ස්ත්‍රී ජාතියෙනුත් අග පැමිණියෙමි, මා කළාවූ ප්‍රාර්ථනාව ද සාදා ගතිමි. එක්සිය විසි අවුරුද්දක් ආයු වළඳා ත් සිටියෙමි, නුඹගේ අනූන වූ නිර්මල වූ ශාසනයෙහි පළමු කොට නිවන්පුර යනු කැමැත්තෙමි, මට අවසර දුන මැනව.

බුදුරජාණෙනි! බුදුකෙනෙකුනැ යි යන නමකුදු ඇසීමෙක් ලැබීමෙක් ඉතා දුර්ලභ ම ය, එසේ හෙයින් දැන් මම නුඹගේ රූසිරි සිත් සේ බලා නුඹ පා වැඳ සිත් සනහා ගන්නා කැමැත්තෙමි, නුඹවහන්සේගේ තෙල අටතුරා සියක් මඟුල් ලකුණෙන් දිලියෙන සිතියම් කළ පෙති සේ වූ, දෙවිබඹුන්ට මුදුන්මල්කඩ වූ, සාරදහස් අටසියක් යොදුන් උස රාහු අසුරෙන්‍ද්‍රයන් පවා යට සඟවා පියන තරම් ආනුභාව ඇති සුරක්ත වූ, ශ්‍රීපාද නමැති පියුම්දෙක මඳක් මා කරා දිගුකොට වදාළ මැනව, මාගේ දරුසනා නමැති නුඹ කරා දිවන මහ දිය වතුරු වැටි බැඳ රඳවා ගන්නා කැමැත්තෙමි.

තව ද: සවනක් රසින් දිලියෙන තෙල නුඹගේ මනොහර වූ රූපකාය මඳක් මට දක්වා වදාළ මැනව, තෙල උරමඬලෙන් සුගත්සිවුර මඳක් ඉවත් කොට වදාළ මැනව, සිත් සේ නුඹගේ රූසිරි බලා වැද නිවන්පුර යනු කැමැත්තෙමි” යි බුදුන්ට දැන්වූ සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ මෑණියන් වහන්සේගේ නො එක් ප්‍රේමනීය වූ කථා අසා උපන් මහත් වූ කරුණා ඇති ව, සඳවලා ගබකින් අර්ධරූපයක් දක්වන්නාවූ සූර්‍ය්‍ය දේවතාවා සේ සුරක්තවූ, චීවර ය වම් දසරුවෙන් පහකොට ඌර්ධවකාය දක්වාලා ප්‍රවාල සාගරයෙන් නිකුත් රත්පියුම් දෙකක් සේ ශ්‍රීපාද යුග්ම ය. දිගු කොට වදාළ සේක.

එ කෙණෙහි බුදුන්ගේ ඌර්ධවකායෙන් නිකුත් බුදුරස් කඳෙක් අහස් කුසට පැනනැඟී අසූරියනක් තෙන එකලු කෙරෙමින් දිලිහි දිලිහී සිටගත. ශ්‍රීපාද යුග්මයෙන් නිකුත් බුදුරසු දු එසේ ම මහපොළො අසූ රියනක් විනිවිද රන් පිඩැල්ලක් සේ කෙරෙමින් සිටගත. පූර්ව පශ්චිම දක්ෂිණ වාම භාගයෙනු දු නිකුත් බුදුරස් කඳුදු එසේ ම ඒ ඒ දිගුන් බබුළුවා සිටගත. බුදුන් සිසාරා සිටගත් බ්‍යාමප්‍රභාමණ්ඩල ය සඳෙක ලූ මඬුල්ලක් සේ ඒ රස් අභිභවා සිටගත.

එ කල මෑණියන් වහන්සේ පුතණුවන් වහන්සේගේ රූපශ්‍රී හා දෙතිස් මහ ලකුණු හා අසූ අනූ ලකුණු හා සියලඟින් දිවන බුදුරස් සිත් සේ බලා පින පිනා බුදුන් දිගු කළ ශ්‍රීපාදයෙහි ඇඟිලි අගෙහි තමන් වහන්සේගේ සිරස පහරනා සේ වැදහෙව දරු ලදුවවුන් අසා දරාගත නො හැක්කාවූ සැදැහැ ඇතියන්ට ඉතා ප්‍රේමනීය වූ කර්ණයට ඉතා රසායන වූ නො හඬා සිටිය නො හැක්කාවූ ස්නේහකර තෙපුල් කිය කියා බුදුන් ක්ෂමා කරවන සේක්.

ස්වාමිනි! මා බුහුනැණියන් මහාමායා දේවීන් කුසෙහි දස මසක් වැස දාකරඬුයෙක රන් පිළිමයක් සේ දිලිහි දිලිහී මවුන්ට සුව දී මහබඹුන් අතට බිහි වූ වීර පුරුෂයාණෙනි! එ තැන් පටන් මා ඔර වැඩී මවුන්ට මෙ බඳු වූ සිරිකර කම් දුන් වැරසර පුතණුවන් වහන්ස! වැදූ මවුන්-පියන් ඇතුළු වූ තුන්ලෝ වාසීන් නො වරදවා දරුකොට ගත් නිවන් මාහිමියාණෙනි! කිසියම් සැකයක් ඇතියෙමි, මේ ලෝකයෙහි ස්ත්‍රීජාතිහු නම් නු ගුණයට ආකරයහ. එසේ හෙයින් ලාමක වූ ස්ත්‍රීජාතියෙහි උපන්මි. සංසාරයෙහි බොහෝ දවසක් නුඹ මා ඔර වැඩුණු හෙයින් කිසි යම් මා කොටපු අපරාධයෙක් දැඩි කමෙක් නිග්‍රහ නිසා කියාපු-වාචසික වූ-කායික වූ වරදෙකු දු ඇත්නම් දැන් මට ක්ෂමා කොට වදාළ මැනැව, නුඹගේ දුව කෙරෙහි අනුකම්පා කොට වදාළ මැනැව. තව ද: නුඹවහන්සේගේ ම සසුන්වැද මහණ ධම් පුරමින් නිවනෙහි කළ ලෝභයෙන් නුඹ වළක්ව වළක්වා තුන් වාරයෙක ස්ත්‍රීන්ගේ පැවිදි වීමට යාච්ඤා කෙළෙමි, ඒ ආයාචනයෙහි දු දෝෂයෙක් ඇත්නම් ක්‍ෂමා කොට වදාළ මැනැව.

තව ද: නුඹවහන්සේගේ ම අනුශාසනා වූ පරිද්දෙන් මෙහෙණි සස්න ඇතිකොට බොහෝ ස්ත්‍රීන් මහණකොට බොහෝ දෙනා හික්මවීමි. ඔවුන් අතුරෙන් කිසියම් මට නො හික්මුණු කෙනෙක් ඇත් නමු දු ඒ වරද ද ක්‍ෂමා කොට වදාළ මැනැව. තව ද: නුඹ වහන්සේගේ ම දහම් අමා උකා බී සියලු සතුන්ට දහම්රස දෙන්- නාවූ ශ්‍රීමත් වූ මුඛය නුඹ බිළිඳි කල මාගේ තන නමැති මස්- ගඩුයෙහි පහරවා ඇවිද්දෙමි. තව ද නුඹ මෙම ජාතියෙහි මට පිය වන බවු නො දැන පෙම් නමැති මෝහබලයෙන් පුත්‍රබැවහාරයෙන් ආමන්ත්‍රණය කොට ත් ඇවිද්දෙමි. තව ද: දැන් නුඹ විසූ ගඳකිළිය ද, නුඹ වැඩඋන් ආසනය ද, නුඹ සැතපුණු යහන ද, නුඹ වැළඳු පාත්‍රය ද, මෙම ජාතියෙහි ම තුන්ලෝ වාසීන්ට ධාතු වන බවු නො දැන නුඹ ඉතා ළදරු කල නුඹ වසන ගෙයි වාසය ත් කෙළෙමි, නුඹ වඩාගෙන එක ආසනයේ හුනිමි, නුඹ බඩදීගෙන එකයානේ සැතපිණ. නුඹ මුයෙහි බත් අනා තබ තබා මම ද එම තලියෙන් බත් අනුභවත් කෙළෙමි. මේ ආදි වූ පුත්‍රප්‍රේමයෙන් මා කළාවූ වර්ධනය ද, අනන්තාපර්‍ය්‍යන්ත වූ බුද්ධ මාත්‍රාවනු දු කොට ආ සිරිතක් ම හෙයින් එහි මාගේ ම අපරාධයක් නො දකිමි. එසේ ද වුව ත් ඒ වර්ධනයෙහි කිසියම් නො දැන කළාවූ බුද්ධමාතා ධර්‍මයෙහි අඩුවෙක් ඇත්නම් ඒ වරද ද ක්‍ෂමා කොට වදාළ මැනැවැ යි වැද හෙව දැන් වූ සේක.

එ වේලෙහි ස්වාමි දරුවාණෝ බැණනැඟී බසින් සියලු ගඳකිළිය එක සුවඳ පිඬක් සේ කෙරෙමින් ඔබට බණ වදාරණ සේක්.

අක්ඛන්තො නාම මන්තබ්බං-කිං භවෙ ගුණ භූසනෙ

කිමුත්තරං තෙ වක්ඛාමි-නිබ්බාණාය වජන්තියා-යි

යන මේ ගාථාවෙන් බුද්ධ මාතාවෙනි! තෙල නුවණැ‘තියන්ගේ ක්‍ෂමා කැරවීමෙක් නොවෙයි. අනවතප්තජලය පෙරීමෙන් කම් නැත්තා සේ, චින්තාමාණික්‍යරත්නය හොප් ලීමෙන් කම් නැත්තා සේ, ජාම්බුනද කනක දැවීමෙන් කම්නැත්තා සේ, නිරපරාධයන් අනුන් ක්‍ෂමා කැරවීම ත්; නිවරදයන්ට තමා ක්‍ෂමා කිරීම ත් නිෂ්ඵල වන්නේ ය. එසේ හෙයින් අමාමහ නිවන් දුටුවානට ඔවුනොවුන් ක්‍ෂමා කැරවීමෙන් කම් නැත. එසේ ද වුව ත් මෙ තැන වනාහි තොප විසින් බුදුන් කෙරෙහි ආදර නිසා කීයෙත් පූර්ව ධර්මයෙක් ම ය. බුදුන් විසිනු දු ක්ෂමා කිරීම නම් බුදුන්ගේ ම ධර්‍ම ම ය. එසේ හෙයින් ලෝකධර්‍ම ව්‍යවහාරයෙන් ලෝවැසියන්ගේ චිත්තාරාධනාව නිසා බුද්ධමාතාවෙනි! ක්ෂමා කළම්හ, ක්ෂමා කළම්හ”යි වදාරා නැවත බුදුහු:

සුබුද්ධෙ අනූනෙ මම භික්ඛුසංඝෙ

ලොකො ඉතො නිස්සරිතුං ඛමන්තෙ,

පභාතකාලෙ ව්‍යසනං ගහානං

දිස්වාන නීයාති හි චන්‍දලෙඛා-යි.

යන මේ ගාථාවෙන් “බුද්ධමාතාවෙනි! තොපවැනියන් මාගේ ශාසන පරිහානි ය නුදුටු මනා ම ය, තොප සිතුයේ කාරණයෙක් ම ය. උදය කාලයට පූර්වභාගයෙහි ම ‘ඇසිල්ලෙකින් මාගේ තාරකා බන්ධුහු නිෂ්ප්‍රභත්වයට පැමිණෙති, ඔවුන්ගේ ඒ පරිහානිය මම දැක්ක නො හෙමියි යන්නාක් මෙන් හස්ත පර්වතයෙන් සැඟවෙන්නාවූ චාතුර්දශී පූර්වර්ණචන්‍ද්‍රයා සේ, තෙපි දු මාගේ මේ ශීලාලංකාර ශෝභාවෙන් දීප්තිමත් වූ, සම්පූර්ණ වූ, ශ්‍රාවක නමැති තාරකා සමූහයන් සසුන් නමැති ගුවන්හි සුගත් මෙර බබුළුවමින් සිටි කල්හි, කලෙකින් ඔවුන්ගේ පරිනිර්වාණ නමැති සූර්යයාගේ උද්ගමනය නො වන තෙක් නිවන්පුර නමැති හස්තගිරියෙන් සැඟවී ගොස් ශාන්තිපුරයෙහි වසව”යි අවසර දී වදාළ සේක.

එ කල උන්වහන්සේ බුදුන් ශ්‍රීපාදමූලයෙන් පැනනැඟී රන් මෙරක් සිසාරා යන තරුපිරිවරු සඳක්හුගේ ශ්‍රී මඩිනා සේ ඒ පන්සියයක් මෙහෙණින්නන් පිරිවරා බුදුන් සිසාරා තුන්යලක් පැදකුණු කොට තව ද: දොහොත් මුදුන් දී සිට බුද්ධාලම්බන ප්‍රිතීන් උපන්නා වූ සිත් ඇති ව:

න තිත්ති පුබ්බං තව දස්සනෙන

චක්ඛුං න සොතං තව භාසිතෙන,

චිත්තං මමං කෙවල මෙක මෙව

පප්පුය්‍ය තං ධම්මරසෙන තිත්තිං.

.

නදතො පරිසායන්තෙ−වාදීදප්පප්පහාරිනො

යෙ තෙ දක්ඛින්ති වදනං–ධඤ්ඤා තෙ නරපුඞ්ගව.

.

දීඝඞ්ගුලි තම්බනඛෙ - සුභෙ ආයතපණ්හිකෙ,

යෙ පාදෙ පණමිස්සන්ති–තෙපි ධඤ්ඤා රණන්තගා.

.

මධුරානි මහන්තානි-දෙසනානි හිතානි ච,

යෙ තෙ වාක්‍යානි සුස්සන්ති-තෙපි ධඤ්ඤා නරුත්තම-යි.

යනාදි නොඑක් ගාථා වචනයෙන් “ස්වාමිනි! බුදුරජාණෙනි! නුඹගේ රූපදර්ශනයෙහි මාගේ ඇස ද තෘප්තියක් නො ලැබෙයි, නුඹගේ මධුර වූ තෙපුල් ඇසීමෙන් කන ද තෘප්තියට නො පැමිණෙයි, හුදෙක් මාගේ එකලා තෘප්ති ය ම නුඹගේ නිවන් දහම් රසයෙන් පිරී ඉතිරී ගිය සිවුවනක් පිරිස් පිරිවරා ධර්‍ම ලීලාවෙන් වැඩහුන්නා වූ නුඹගේ සශ්‍රීක වූ ශ්‍රීමුඛය යමෙක් ඇස් පුරා දුටුවාහු වූ නම් ඔහු ම පින්වත්හ. යමෙක් නුඹගේ ශ්‍රීපාදයන් දෙදෙනාට නමස්කාර කළාහු වූ නම් ඔහු ම ධන්‍යවත්හ. යමෙක් නුඹගේ මධුර වූ පෙදෙහි පෙදෙහි නිවන් අමාබිඳු වහනය කරන්නාවූ තෙපුල් ඇසුවාහු වූ නම් ඔහු ම ශ්‍රීවන්තයහ. එසේ හෙයින් ස්වාමිනි! මට වඩා පිනැතියෝ නැත, මම් ම ශ්‍රීවන්තයෙමි, මම් ම භාග්‍යවන්තයෙමි, මම් ම ඇස් ලදිමි, කන් ලදිමි, සිත් ලදිමි’’යි යනාදි සිය දහස් වචනයෙන් බුදුන්ට ස්තුති කොට කොට බුදුරූ බල බලා සිටි සේක.

ගෝතමීන්ට පිරිනිවන්ට අවසර දීම

එ කල “බුද්ධමාතාවෝ අද පිරිනිවන් පාවිත්ල, දැන් බුදුන් අතින් අවසර ඉල්වමින් සිටියෝ ල, ක්ෂමා කරවමින් සිටියෝල, බුදුහු ඔවුන්ට බණ වදාරමින් සිටි සේක්ල”යි සියලු ශ්‍රාවකයන්ට සැලව ගි ය. එ බස් අසා මහත් වූ ධර්‍මසංවේගයට පැමිණ “බුද්ධ මාතෘවූ මහ පින්වතුන්ට පවා නො නවත්නා ධර්‍මයෙක් වනැ”යි කිය කියා අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි අසූ මහ සවුවෝ පිරිවර හා සමඟ අවුත් ගඳැත් පෙළක් සේ පෙළ පෙළ සැදී බුදුන් සමීපයෙහි සිටියහ. නන්ද-රාහුල දෙදෙනා වහන්සේ ද පන්සියයක් ශාක්‍ය කුල ස්ථවිරයෝ ද ධර්‍මසංවේගයට පැමිණ සිටියහ. අනඳ මහ තෙරුන් වහන්සේ එවකට තමන් වහන්සේ රහත් නොවන හෙයින් ශෝක දරාගත නොහී “බුද්ධමාතාවන්ගේ පරිනිර්‍වාණය වනුයේ මාගේ බුදුන්ගේ පරිනිර්වාණ කාලය ආසන්න හෙයින්මය” යි සිත සිතා බාෂ්පධාරා වගුරුව වගුරුවා හඬන්නට පටන් ගත් සේක.

.

එ කල මහා ප්‍රජාපතී ගෝතමින් වහන්සේ මහාශ්‍රාවකයනුදු වැඳ සමුගෙන, පුතණුවන් වහන්සේ හා මුණුබුරාණන් වහන්සේද වැඳ සමුගෙන, අනඳ මහ තෙරුන් වහන්සේ හඬ හඬා සිටිනා තැනට ගොස් “මට ම පිය වූ, මට ම කල්‍යාණමිත්‍ර වූ, මට ම උපකාරී වූ, මට ම මේ සා නිවන් සුවයක් අනුබල ව සාදාදීලු, භික්ෂුණී ශාසනයට පිහිට ව මේ සා ලෝවැඩක් කළාවූ, පුතණුවෙනි! නුඹ බහුශ්‍රැතයන් කෙරෙහි අගපැමිණ සිටි කෙනකුන් වුව. බුද්ධෝපස්ථානයෙහි අප්‍රමාද කෙනකුන් වුව, මධුර ව බණ කීමෙහි ඉතා දක්ෂ වූ කෙනකුන් වුව, බුදු කෙනකුන් අතින් අට මහ වරයක් ලත් ශ්‍රීවන්තයාණ කෙනකුන් වුව, ධර්‍මභාණ්ඩාගාරය රක්ෂා කරන කෙනකුන් වුව, නුඹ වැනියන් හඬනු නො යෙදෙයි, මේ හැඬුව මනා කාලයෙක් නො වෙයි, මාගේ ආනන්‍දභෙරි වූ මහා මඞ්ගල්‍ය කාලයෙක.

එසේ හෙයින් නුඹ වැනියන් ඉතා සන්තෝෂ වුව මනා කාලයෙක, ඇසිල්ලෙකින් මා ලබන අද්භූත වූ මඟුල් නුඹ දක්නා දෑ ය; බුදුකෙනකුනුදු ලැබගත නො හැක්කා වූ මහත් වූ පූජා දැන් දක් මා ලබන ලෙස් බල බලා නො හඬා වැඩසිටිය මැනැව, නුඹගේ ම සහායයෙන් පැවිදි ලදිමි, උපසම්පදා ලදිමි, නුඹ මට කළ අනුබල සංග්‍රහ මම ත් ව්‍යර්ථ නො කෙළෙමි, පූර්වකාලයෙහි මහ පඬි වූ, සියස් වයස් ව ගියාවූ, ස්ත්‍රීනු දු සාදාගත නුහුනුවා වූ, දැක්ක නුහුණුවා වූ, රස නො දත්තා වූ, අමාමහ නිවන් රසයක් දැන් සත්හැවිරිදි කුමාරිකාවරුන්ට පවා සාදා දෙවා පීමි, දක්වා පීමි, රස දන්වා පීමි, සසුන් බල පෑ තුන්ලෝ වාසීන් තුඩ තුඩ සාධුකාර දෙවා පීමි, එසේ හෙයින් නුඹ මට කරවාලූ සංග්‍රහය ස්ථානෝචිත ය, මුදුන් පැමිණි අර්ථවනැ’’යි යනාදීන් නො එක් ඔවා තෙපුල් දී උන්වහන්සේ අස්වසා බුදුන් වන දෙස බලා සිටි දෑ ය.

එ වේලෙහි ස්වාමිදරුවෝ “බුද්ධමාතාවගේ වික්‍රම මුළුලෝවාසීන්ට දක්වා බුදුබල පෑ, පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි පවත්නා මාගේ බුද්ධ ශාසනයෙහි මතු අතිප්‍රසන්න වූ ශ්‍රද්ධාවන්ත කුලස්ත්‍රීන් මේ වික්‍රම අසා උපන් සන්තෝෂයෙන් ඔවුන්ගේ මුඛ පද්මයන් ප්‍රබෝධ කරවා, ශ්‍රීවන්ත වූ පුතුන් පැතීමෙහි උත්සාහ කරවා, බුද්ධමාතාවන්ගේ බල පරාක්‍රම මුළු ලොවට දක්වා, මතු බුදු වන බුදුන්ට ද මාතෘ ධර්‍මයන් පුරන්නා වූ කුලස්ත්‍රීන්ගේ වීර්‍ය්‍ය ද වඩනා සේ ලෝවැඩක් කරවමි”යි සිතා වදාරා මෑණියන් වහන්සේට “මහාප්‍රජාපති ගොතමිනි! බුද්ධමාතා වූ තොප වැනි පින්වත්හු ලෝකයෙහි ඉතා දුර්ලභයහ, එසේ තොප වැනියන් ලෝකවාසීන්ට පෙළහරක් නො දක්වා නිවන් පුරයට අප්‍රසිද්ධ ව පලායනු නො යෙදෙයි, මා තොපට කළාවූ සංග්‍රහ මතු ලෝක ප්‍රසිද්ධ වන සේ හා පෙර ස්ත්‍රීන්ගේ අභිසමයෙහි ශඞ්කා කළාවූ අඥාන වූ සත්ත්‍වයෝ බොහෝය. ඔවුන්ගේ ද ශඞ්කා දුරු කරන පිණිස දැන් මා මැදයෙහි තොපගෙන් කිසි යම් සෘද්ධිබලයක් දක්වා බලගැ”යි වදාළ සේක.

එ වේලෙහි උන්වහන්සේ බුදුන් වදාළ බස් මුදුනෙන් පිළිගෙන “යෙහෙක ස්වාමිනි! මා වැනියන්ගේ කුමන බල දක්වම් ද, නුඹගේ බුදුබල ලෝකවාසීන්ට දක්වා කිසියම් පෙළහරක් කෙරෙමි” යි කියාලා බුදුන් වැඳ අවසර ගෙන ධ්‍යානයට සමවැද ආකාශයට තලෙක, දෙ තලෙක, තුන් තලෙක, සතර තලෙක, පස් තලෙක, සතලෙක, සත් තලෙකැ යි නැඟි නැඟී, බැස බැස, සත් වාරයෙක බුදුන් වැඳ නැවත සියක් තල, දහසක් තල, ලක්ෂයක් තලැ යි ආකාශයට පැනනැඟී පුන්සඳක් සේ දිලිහි දිලිහී සිට දසදිග් බලා “මුළුලෝ වැසියෙනි මේ මාගේ බලයෙකැ යි නො සිතව, මපුතණුවන් ගෞතම බුදුන්ගේ සසුන් වන් සියලු ස්ත්‍රීන්ගේම බලයෙක් ම ය. එසේ හෙයින් මා පුතණුවන් ගෞතම බුදුන්ගේ පෙළහරක් බලව”යි හඬගෑ දෑ ය. එකෙණෙහි දසදහසක් සක්වළ සියලු දෙව් බඹපිරිස් රැස් ව තුන්ලෝ පුරා සිට බුදුන්ට සාධුනාදයෙන් ස්තුතිපූජා කළහ.

ඉක්බිත්තෙන් මෙහෙණින්නන් දෙදෙනකු සේ පෙනී, සතර දෙනකු සේ, අටදෙනකු සේ, සොළොස් දෙනකු සේ, සියක් දෙනකු සේ, දහසක් දෙනකු සේ, ලක්ෂයක් සේ, කෝටියක් සේ පෙනි පෙනී වෙන වෙන රූ මව මවා මේසා මුළු සක්වළ මුළුල්ලෙහි අහස්කුසට අවකාශයක් නො තබා චක්‍රවාට සරසියෙහි පිපී වැනී ගියාවූ රත්පියුම් වනයක් බුදුන්ට පිදුවා සේ එකලා වෙසින් සිට ඒ සා මහත් මෙහෙණිනි පිරිස ලවා මා පුතණුවන් ගෞතම බුදුන්ගේ බලයක් බලව යි කටින් කටින් කියවූ දෑය, එ කෙණෙහි දු මහත් වූ සාධු නාදයෙන් පූජා වි ය.

නැවත: ඒ සා මහපිරිස හෙළූ ඇසිපිය නඟා නො ලන ඇසිල්ලෙහි එ තෙක් රූ අන්තර්ධාන කොට නැවත ගුවන් කුස එකලා වෙසින් පෙනී “මම ය බුද්ධමාතාවෝ” යයි බැණ නැඟි දෑය, එ කෙණෙහි දු මහත් වූ සාධුනාද පූජා වි ය.

නැවත: විදුලියක් සැඟවුණා සේ අන්තර්ධාන වූ දෑ ය, තුන්ලෝ පුරා සිටි ඒ සා මහත් දිව්‍ය සේනාවෙන් උන්වහන්සේ කොයිවන් බවත් දන්නා කෙනෙක් නැත; උන්වහන්සේ දෙවු ලොව ත් නැත, බඹලොවත් නැත; මිනිස්ලොවත් නැත; මේ සක්වළත් නැත; පර සක්වළත් නැත; වැළි කොයි වන් සේක් ද යත්; සිටි තැන ම සිටිසේක. කොයි සැඟවුනු සේක් දෝ හෝ යි මහපිරිස කුහුල් වමින් සිටිය දී නැවත විදුලියක් පෙනී ගියා සේ මහපිරිසට පෙණුනු දෑ ය. එ කෙණෙහි දු සාධුනාද පූජා වී ය.

නැවත: පිරිස බල බලා සිටිය දී උතුරුකුරු දිවයින මෙර ගලින් මුවා වූ දෑ ය, එ කෙණෙහි දු දන්නෝ නැත, මෙ තෙන සිට පෙනෙත්ව යි අධිෂ්ඨාන කළ දෑ ය; දෑවානයෙකින් වැසූ රන් මල්දමක් සේ ඒ සා මෙරගල විනිවිද විශේෂයෙන් පෙණුනු දෑ ය, එ කෙණෙහි දු සාධුනාද පූජා වි ය.

එයින් ගොස් සක්වළ ගලින් මුවා වූ දෑ ය, නැවත සක්වළගල විනිවිද පෙණුනු දෑ ය, එ කෙණෙහි දු සාධු නාද පූජා වි ය.

නැවත අහස්කුස පෙනී “තුන්ලෝ වැසියෙනි! මේ මාගේ බලයෙක් නො වෙයි. ම පුතණුවන් ගෞතම බුදුන්ගේ සසුන් වන් සත් හැවිරිදි කුමාරිකාවරුන්ගේ පවා මෙබඳු වූ පෙළහර ඇත් ම ය. එසේ හෙයින් මෙයි දු බුදුන්ගේ ගුණමහිමයෙකැ”යි හඬගෑ දෑ ය. එ කෙණෙහි දු බුදුන්ට දුන් සාධුනාද පූජා තුන්ලෝ පුරා ගි ය.

නැවත: “කුමන පෙළහරක් දක්වන සේක් දෝ හෝ”යි මහ පිරිස සිත සිතා සිටිය දී අසුරුසනක් කලින් අහසින් බැස මහ පොළොව කිමිද යට සාරලක්ෂ, අසූදහසක් යොදුන් දිය පොළොව කිමිද, එයින් නවලක්ෂ සැටදහසක් යොදුන් වා පොළොව කිමිද යට අජටාකාශය බලා, නැවත හුස්මක් නඟා නො ලන ඇසිල්ලෙහි දක්‍ෂිණ සාගරයෙන් පැන නැඟි දෑ ය, එ කෙණෙහි දු සාධු නාද පූජා විය.

නැවත: දක්‍ෂිණ සාගරය කිමිද පශ්චිම සාගරයෙන් නැඟි දෑ ය, පශ්චිම සාගරයෙන් කිමිද උත්තර සාගරයෙන් නැඟි දෑ ය, උත්තර සාගරය කිමිද පූර්වසාගරයෙන් නැඟි දෑ ය, පූර්ව සාගරය කිමිද දක්‍ෂිණ සාගරයෙන් නැඟි දෑ ය, ඒ ඒ කාලයෙහිදු සාධු නාද පූජා වි ය.

නැවත: සතර මහා සාගරය සිසාරා කීපවාරයක් සක්මන් කළ දෑ ය, නැවත එයින් ආකාශයට පැන නැඟී “සියලු සත්හු ම මා දකිත්ව”යි අධිෂ්ඨාන කොට ලා අහස්කුස පලක් බැඳ රන් පිළිමයක් සේ වැඩහුන් සේක.

තව ද: කුමන විස්මයක් පානා සේක් දෝ හෝ යි සියලුදෙනා බලන කල්හි ශරීර ය මහත් කොට මව මවා ක්‍රම ක්‍රමයෙන් උස් උස් ව දෙව්ලෝ බඹලෝ ගෙවා ශිරස තබා ගෙන මේ සා මුළු තුන්ලොව එක කයින් හැසවා ගෙන පූර්ව පශ්චිම චක්‍රවාටයෙහි දෙදන මඬුල්ල තබාගෙන වැඩඋන්නා සේ පෙනී “මම දෙවියෙක් බඹෙ‍ක් නො වෙමි, බුදුන්ට කිරිමව්කම් කළා වූ එක්තරා එක් ස්ත්‍රියක්මි, බුදුන්ගෙන් මා ලද කිසියම් ගුණලවයෙක්හි බල බලව”දි කී දෑ ය. එ කෙණෙහි දු මහත් වූ සාධුකාර පූජා වි ය. තුන්ලොව උන්වහන්සේගේ එක මෙහෙණි රූපයට ම අවකාශ වූ කල දෙවි බඹ කැලෝ කොයි වැද සිටියාහු ද? යත්; එසේ නැත; උන්වහන්සේ තමන් වහන්සේගේ ස්වභාව වූ ශරීරයෙන් අඟලක් සා තැනුත් මහත් වූයේත් නැත, උස් වූයේත් නැත; ඒ අසාධාරණ වූ ඍද්ධි මහිමයෙක් ම ය, එ වෙනි සෘද්ධි ලදුවවුන්ට මුත් නොදැනේ ම ය, නො සිතේ ම ය, සෘඬිවිෂ ය අචින්ත්‍ය ම ය.

නැවත: එ පෙළහර හැර එක් අතක් පොවා එක්ලක්ෂ අට සැට දහසක් යොදුන් උස මෙරගල කුඩ දණ්ඩක් සේ හයා ගෙන අනික් අත දිගු කොට දෙ ලක්ෂ සතළිස් දහසක් යොදුන් ඝන කඩ බොල් මහපොළොව අනික් සක්වළකින් පාන්මාලාවක් සේ හයා ගෙන, මෙරගල මතුයෙහි තබා එක් අතෙකින් පත්කුඩයක් සේ ගෙන, නැඟෙන හිරි සක්වළ මුවවිට සිට පැළසක්වළ මුව විටට ය, පැළසක්වළ මුවවිටින් පූර්වසක්වළ මුවවිටට ය, උතුරු සක්වළ ගලින් දකුණු සක්වළ ගලට ය, දකුණු සක්වළ ගලින් උතුරු සක්වළ ගලට ය, සක්වළගල සිසාරා ය යි. නො එක් වාරයෙහි සක්මන් කොට වදාළ සේක. එ කෙණෙහි දු සාධුනාද පූජායෙන් තුන්ලෝ පිරී ගිය.

නැවත: එ පෙළහර හැරපියා සියලඟින් දුම්කඳු හැර හැර මුළුලොව එකාන්‍ධකාර කළ දෑ ය, දෙවියෝ බඹුන්ට නොපෙනෙති, බඹු දෙවියන්ට නො පෙනෙති, මනුෂ්‍යයෝ ද ඔවුනො’වුන්ට නො පෙනෙති, “කොල! මේ කුමන පෙළහරක් ද, අපි ඇම ඔවුනො‘වුන් නො දකිමෝ, තොපි කොයි ද, මම කොයි ද, රෑව ගිය නියා ද, හිරු ගල නොහී ම කෙසේ රෑ වූ නියා දැ”යි යනාදීන් කිය කියා සිටි කල්හි, නැවත ඒ අඳුර අන්තර්ධාන කොට හිරි රස් කලබක් සේ පෙනී තේජෝකසින සමාපත්තියට සමවැදලා සියලඟින් ගිනි කඳු හැර තුන්ලොව ම ඒකාලොක කොට ගිනිපුලිඟුයෙන් පිරූ දෑ ය, ඒ සා මහත් ගින්නෙන් මුළු ලොව ම මකුළු හු දැලකටත් හානියෙක් නො වීම ය, එ කෙණෙහිදු “මුළු ලෝ වැසියෙනි! මේ කප් ගින්නෙකුත් නොවෙයි, සෙසු අවැඩකරු ගින්නෙකුත් නො වෙයි, භය නො කරව, මහා ගෞතම බුදුන්ගේ චුල්ලමාතාවන් කළ පෙළහර වූ ලෝවැඩ ගිනිය සසුන් බල බලව’යි හඬගා කී දෑ ය; එ කෙණෙහි දු දුන් සාධුනාද පූජායෙන් තුන් ලෝ පිරී ගිය.

නැවත: එ ගිනි අන්තර්ධාන කොට පෙනී “මීටත් වඩා පෙළහරෙක් තවත් ලෝකයෙහි ඇද්දෝ හෝ”යි මහපිරිස කුහුල්වමින් සිටියදී “තව ද පෙළහරක් බලව”යි කියාලා ආකාශයෙහි සිටි පොළ සිට ම, එක් අතක් දිගු කොට කොට පන්සියක් යොදුන් හිමාලය පර්වතයට පොවාලා එහි මුචලින්‍දය, සිනෙරුය, මන්දාරය, දද්දරය, චිත්‍රකූටය, කාළකූටය, කෛලාසකුටය, සුදර්ශනකූටය, ගන්‍ධමාදනකූටය, චුල්ලකාළය, මහාකාළය, චන්‍ද්‍රපාර්ශ්වය, සූර්‍ය්‍යපාර්ශ්වය, ජලපාර්ශ්වය, මණිපාර්ශ්වය යි යනාදි වූ සුවාසූ දහසක් පර්වත සමූහයන් අබබිජු අවුළන්නා සේ, අවුළා එක මිටට ගෙන අත නඟා පෑ සේක. එ කෙණෙහිදු මහ පිරිස සාධුකාර දුන්හ.

නැවත: ඒ පර්වතයන් ස්වකීය ස්වකීය ස්ථානයට ම හැර දෑඟිල්ලක් පොවා එක් ඇඟිල්ලෙකින් පනස් යොදුන් හිරි මඬල වසා අනික් ඇඟිල්ලෙන් උනු පනස් යොදුන් සඳමඬල කිසිවක් නො පෙනෙන සේ වසා පෙළහර පෑ දෑ ය. ඒ පෙළහරෙහි දු දෙවි මිනිස්සු සාධුකාර දුන්හ.

නැවත: අනික් පෙළහරකු දු බලව යි කියා සිටි පොළ සිට ම එක් අතක් දිගු කොට දාසක් සක්වළෙහි හිරිමඬුලු දාසක් හා සඳමඬුලු දාසක් හයා ගෙන පෙරට තබා සෘද්ධි සූත්‍රයෙන් අවුණා මන්ත්‍රවැල දෙකක් සේ, දෑතින් ගෙන සිටි දෑ ය. එ කෙණෙහිදු තුන් ලෝ වැසියෝ මහත් වූ සාධුකාර කොට බුදුන්ට ම මහත් වූ ස්තුති පූජා කළහ.

නැවත: එ පෙළහර ද හැරපු සේක; එ කෙණෙහි යම් සේ යපාලමක් රත්කොට කිනිහිරි මුදුනේ තබා කුළු මුදුනෙන් පහළ කල ඒ ඒ දිග්හි දිවන්නා වූ ගිනිමල් සේ හිරි මඬුලු දාසත්, සඳමඬුලු දාසත්, ඒ ඒ දිග්හි දිවීය, එයි දු එක් පෙළහරෙක, එ පෙළහර දුටු වේලෙහි සත්ත්වයන්ට උපන් සන්තොෂ ද මෙ තෙකැ යි පමණ නැත.

නැවත: හිරි විමන ආසන කොට, සඳවිමන ආලම්බන කොට වැඩහිඳ ධ්‍යාන මුහුර්තයකින් එක් පෙළහරක් දැක්වූ දෑ ය, එ කෙණෙහිදු දෙවි මිනිස්සු සාධුකාර දුන්හ.

නැවත: එ පෙළහර ද හැර එක් අතක් දිගු කොට සතර මහා සාගරයෙහි දිය එක අත්ලෙන් උකාගෙන අත ඔසවා පෑ දෑ ය, එ කෙණෙහි සමුද්‍රයෙහි පැන් නො දැක සියලු දෙවි මිනිස්සු ‘‘කොල! මේ කුමන විස්මයෙක් ද, මහමුහුද පැන් කොයි වන්දැ”යි කියන්නාහු එ කෙණෙහි “එම්බා සත්ත්වයෙනි! මහමුහුද පැන් මාගේ මේ අත්ලේ තුබුයේ ය, සියලු ප්‍රාණීන්ට ද කිසි හානියෙකුත් නො වී ය, තෙල පැන් බලව”යි අතලොස්සෙහි පැන් මහමුහුදට දැමූ දෑ ය, එ කෙණෙහි කල්පාන්ත වර්ෂාවක් සේ යොදුන්, දෙයොදුන්, සිය දහස් යොදුන් ජලධාරාවෝ මුළු සක්වළ පුරා වැගිර සතර මහා සාගරය පෙර සේ ම පුරා සිට ගත්හ. එ පෙළහර දුටු දෙවි, මිනිස්සු සාධුනාද පූජාවෙන් තුන්ලෝ පිරූහ.

නැවත: “දෙව්මිනිසිනි! තව ද බුද්ධමාතාවන්ගේ පෙළහර බලයක් බලව”යි කියාලා සක්විති රජක්හුගේ වෙසක් මවා චක්‍ර රත්නාදි සත්රුවන මවා, සුවාසූදහසක් රජසෙනග මවා, සතිස් යොදනෙක පැතිර සිටි සෙනඟක් මවා, ආකාශයෙහි ගමන් ගත් සක්විති රජක්හුගේ ශ්‍රීවිභූති දැක්වූ දෑ ය, එ පෙළහර දුටු සත්ත්වයෝ ද “සක්විති රජකු හා බුදුකෙනෙකුන් හා, එක සක්වළෙක ඉපදීමෙක් ඇද් ද, මේ කුමන විස්මයෙක් දැ”යි කිය කියා සිටියහ, එ වේලෙහි තමන් වහන්සේ “සත්ත්වයෙනි! මම සක්විති රජෙක් නො වෙමි, බුදුන් මවු මහාප්‍රජාපතී ගොතමී නම් මම් ම වේ දැ”යි හඬගා කී දෑය, එ කෙණෙහිදු සාධුනාද පූජාවට තුන් ලෝකුස කුඩා ව ගියා ය යි සිතමි.

නැවත: මහත් වූ ඇත් වෙසක් මවා, සියදහස් යොදුන් තැන් වසා සිට, තුන්ලොවට ඇසෙන සේ හස්ති කුඤ්චනාද නම් පූජාවක් බුදුන්ට කළ දෑය, ඒ ඇත්වෙස ද අන්තර්ධාන කොට ඉතා මහත් වූ ගුරුළුවෙසක් මවා, දෙපියායෙන් මුළු සක්වළගබ වියනක් සේ වසා ගෙන පෙනී ගරුඩනාද නම් පූජාවක් කළ දෑ ය.

නැවත ඒ ගරුඬරූපය අන්තර්ධාන කොට මහත් වූ සිංහ රූපයක් මවා ආකාශයෙහි පෙනී තුන්ලොවට ඇසෙන සේ ගර්ජනා කොට සිංහනාදයෙන් බුදුන් පිදු දෑය.

නැවත: ඒ සිංහරූප ය අන්තර්ධාන කොට ආකාශයෙහි ස්වරූප වූ මහණ වෙසින් පෙනී:-

මාතුච්ඡා තෙ මහාවීර - තව සාසන කාරිකා

අනුප්පත්තා සකං අත්‍ථං - පාදෙ වන්‍දති චක්ඛුමා-යි.

යන මේ ගාථාව කිය කියා ආකාශයෙන් බැස බුදුන් වැඳ “ස්වාමීනි! බුදුරජාණෙනි! මේ පෙළහර කළා වූ මම දෙවි බඹ කෙනෙකුන්ගේ ආනුභාවයෙකින් අනික්, කෙනෙකුන්ගේ උපදෙසකින් නො කෙළෙමි, නුඹවහන්සේ උගන්වාලූ උපදෙස් වූ පරිද්දෙන් ම කෙළෙමි, නුඹවහන්සේගේ සසුන් වන් ස්ත්‍රීන්ගේ ද බල දැක්වීමි, නුඹගේ ද බල දැක්වීමි, මම නුඹගේ කුඩා මෑණියෙමි, මහා ප්‍රජාපති ගෝතමී නම් මම ය”යි යනාදීන් කිය කියා ආකාශයෙන් බැස බුදුන් වැඳ එකත් පස් ව හුන් සේක.

එ කල මේ පෙළහරෙහි පහන් වූ සියලු ස්ත්‍රී පුරුෂයෝ යුගාන්ත වාතයෙන් එක විට නැමුනා වූ මහ සල් වනයක් සේ උන්වහන්සේගේ පාද මූලයෙහි වැඳ පෙරළී “ස්වාමීනි! මෙතෙක් දවස් බුදු වූ සේක් අප බුදුහු ම ය යි සිතුම්හ, නුඹ ත් බුදු වූ බවු නො දතුම්හ, පුතණුවන් වහන්සේ පළමු කොට බුදුකොටලා නුඹ පසුව බුදු වූ දෑ ද” යනාදීන් ඔබට සියදහස් ගණන් ස්තුති පූජා කොට “මෙසේ වූ පෙළහර හා මෙසේ වූ ආනුභාවයක් ලැබීමට කෙසේ වූ පිනක් කළ සේක් දැ”යි විචාළහ. එ වේලෙහි “තවද සත්ත්වයන් වඩ වඩා පින් කැරවීමෙහි උත්සාහ වඩවමි”යි සිතා පෙර තමන් වහන්සේ කළ කුශලමූල ය දක්වන සේක් මෙසේ වූ ඍද්ධි බලයක් අනෙක් කාරණයෙකින් ලදුයෙම් නො වෙමි, පූර්වජාතියෙහි කළ කුශලබලයෙකින් ම ලදුයෙමි යි. ඒ කෙසේ ද යත්?

මෙයින් කප්ලක්‍ෂයෙකින් යට පියමතුරා නම් බුදුරජාණ කෙනෙක් ලෝකයෙහි උපන් සේක, එ කල ඒ බුදුන්ගේ ද චුල්ල මාතා කෙනෙක් ඒ බුදුන්ගේ සසුන් වැද මහණ වූහ; එ කල බුදු රජාණෝ සිවු වනක් පර්ෂද් මැද ඔවුන් රාත්‍රඥයන් කෙරෙහි අග්‍ර කොට භික්ෂුණී ශාසනයට ප්‍රධාන වූ ස්ථානාන්තර දුන් සේක. එ සමයෙහි මම ශ්‍රීමත් වූ කුලස්ත්‍රියක් ව ඉපැද ශ්‍රද්ධා ලදින් කලින් කලට වෙහෙරට ගොස් බුදුන් අතින් බණ අසනුයෙම් ඒ ස්ථවිරීන් ගේ මහිම දැක “මේ ලෝකයෙහි ස්ත්‍රී ජාතියෙහි ඵල ලදුවෝ නම් මෙ බඳු වූ ස්ත්‍රීහු ම ය. රූ ඇතියන් කෙරෙහි අග්‍ර වූහ, රජක්හට අගමෙහෙසිනි වූහ, බුදුකෙනකුන්ට මවු වූහ, භික්ෂුණී ශාසනයට ගුරු වූහ, අමාමහ නිවන් දුටහ, සෘද්ධිමතුන් කෙරෙහි අග පැමිණියහ. මෙසේ එක ජාතියෙහි ම පඤ්ච ස්ථානයෙකින් අග්‍ර වූහ, මෙ බඳු වූ ශ්‍රී විභූතියෙක් මට ද වී නම් යෙහෙකැ”යි පත පතා ඒ බුදුන් පවරා සත් දවසක් මධුරාහාරයෙන් ලක්ෂ ගණන් ශ්‍රාවකයන් හා බුදුන් වළඳවා පසුව දා අනැඟි වූ පිරිකර දී “මට ද මෙ බඳු වූ ස්ථානාන්තරයෙක් වී නම් යෙහෙකැ”යි පතා බුදුන් වැඳ හොත්තෙමි.

ඒ බුදුහු “මේ පිනෙන් මතු තොයිදු රජකුලයෙක්හි ඉපැද දිව්‍ය සමාන රූප සම්පත් ලදින් ශුද්ධෝදන නම් රජක්හට අග බිසෝ ව එ කල උපදිනා ගෞතම නම් බුදුන්ට චුල්ලමාතා ව ඔවුන්ගේ සසුන් වැද මහණ ව භික්ෂුණී ශාසනයට ගුරු ව අමා මහ නිවන් දැක සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය ඇතියවුන්ට අග්‍රව රාත්‍රඥ මහාප්‍රජාපතී ගොතමී ය යි මෙ නමින් ප්‍රසිද්ධ වන්නීය”යි විවරණ පතුල් දුන් සේක. එකෙණෙහි දු මට අද සේ ම සියලු දෙවි මිනිස්සු සාධු නාදයෙන් පූජා කළහ. එ තැන් පටන් කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව මිනිස් ලොව ඇවිදිනා ලදුයෙම් එක් කලෙක ත් සතර අපාය ඇසින් නුදුටුයෙමි, ශක්‍ර, සුයාම, සන්තුෂිත, සුනිර්මිත, පරනිර්මිත චක්‍රවර්ති ආදි වූ දිව්‍ය-මනුෂ්‍ය රජුන්ට ම අගමෙහෙසිනී වීමි, මෙසේ සසර සුව විඳ ඇවිද,

තව ද: මෙ කප කසී රට එක්තරා එක් කුලයෙක උපන්නෙමි, එ කල පියුමෙන් උපන් පදුමවතී නම් බිසොවුන් කුසින් එක දා උපන් පන්සියක් දරු කුමරහු වැඩී, පසේ බුදු ව එක පෙළ අවුත් වස්වසන දවස් මා පෙරට පෙනී ගිය සේක. එ වේලෙහි මම ඒ පන්සියක් පසේ බුදුන් පවරා, පන්සියක් ස්ත්‍රීන් හා ඔවුන්ගේ පන්සියක් පුරුෂයනු දු සමාදන් කරවාගෙන, පන්සියක් ගෙවල් කරවා, පන්සියක් පසේ බුදුන් වස්වස්වා, පන්සියක් අටපිරිකර දිනිමි, එ පන්සියක් කුලස්ත්‍රී නම් මේ පන්සියක් ශාක්‍ය මෙහෙණින්නෝ ය, එ පන්සියක් පුරුෂයෝ නම් මේ පන්සියක් ශාක්‍ය මහණු ය, එ සමයෙහි මාගේ වල්ලභයාණෝ නම් මෙ සමයෙහි ශුද්ධෝදන රජ්ජුරුවෝ ය. පෙර මා විසින් කළා වූ මෙසේ වූ කුසල් බලයෙකින් මෙ බඳු වූ ස්ථානාන්තර හා සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය ලදිමි, යනාදීන් මහපිරිසට තමන් වහන්සේගේ පූර්ව ප්‍රණීධීන් සද්ධර්‍ම දේශනා කළ දෑ ය. එ වේලෙහි දු සත්ත්වයෝ දොහොත් මුදුන් දී සාධුනාද පූජා කළහ.

එයින් සමහර සත්ත්‍වකෙනෙක් “මේ පන්සියක් මෙහෙණින් නො ත් මුන්වහන්සේලා එක්ව ම පින් කළාහු ල. ඔවුන්ට ත් මෙ වැනි පෙළහරෙක් ඇද්දෝ හෝ නැද්දෝ හෝ”යි සැක කළහ. එ කල ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ සත්ත්‍වයන්ගේ ඒ අදහසු දු දැන ළඟ සිටි පන්සියක් මෙහෙණින්නන් දිසාව බලා “දරුවෙනි! සත්ත්වයන්ගේ සැක දුරු කරවා තෙපි තෙපි දු වෙන වෙන ම පෙළහර දක්වා තොප තොපට මේ සා මහත් වූ අමාමහ නිවන් දුන් මපුතණුවන් ගෞතම බුදුන්ට සාධුකාර පුජා කරව”යි කී දෑය.

එ වේලෙහි උන්වහන්සේ කී බස හා සමඟ පන්සියක් මෙහෙණින්නෝ ආකාශයට පැනනැඟී එකි එකී දෙන සිය දහස් ලක්‍ෂ කෝටිගණන් මෙහෙණිනි රූ මව මවා, නො එක් පෙළහර පානාහු දක්‍ෂ වූ ස්වර්ණකාරයකු එකඝන රන්පිඩක් ගෙන නානාසණ්ඨාන වූ රූපාඞ්කාරයන් මව මවා දක්වන්නා සේ, එකි එකී දෙන ශත සහස්‍ර ගණන් වෙන වෙන රූ මව මවා, නො එක් පෙළහර පෑ තරු කැලයෙන් දිලියෙන ආකාශය සේ සියලු ගුවන්කුස භොබවා, නො එක් වාරයෙහි දු මා දිලිහී අන්තර්ධාන ව පෙනී ඉතා මහත් වූ අද්භූත දක්වා බුදුන්ගේ මහිම පෑ මහත් වූ ස්තුති පූජාවෙන් ලෝ කුස් පුරා, ආකාශයෙන් බැස බුදුන් රහතන් වැඳ මහාප්‍රජාපති ගෝතමීන් වහන්සේට “ස්වාමීනි! මේ සා මහත් වූ ශ්‍රීයක් අපට ගෙන දීලු දෑය. නුඹවහන්සේගේ ම සහායෙන් පින්කොට දෙව්ලොව-මිනිස්ලොව සුව විඳ ත් ඇවිදියම්හ. දැනු දු නුඹගේ ම බලයෙන් බුදු සසුන් වැද මහණ ව අමාමහ නිවන් දැක සංසාර සාගරයෙනු ත් ගොඩ නැංගම්හ. එසේ හෙයින් නුඹම අපට ඉතා මහත් වූ වැඩක් කළ දෑය’යි යනාදීන් ඔබට මුඛ නො සෑහෙන සේ සිය දහස් ගණන් ස්තුති කොට උන්හ.

ඉක්බිත්තෙන් මෙසේ අවසර ලදින් මෙ බඳු වූ පෙළහර පා ලෝවැඩ කොට හුනස්නෙන් නැඟී බුදුන් වන දෙස වැඳ වැඳ ඒ මහාප්‍රජාපතී ගෝතමී නම් වූ බුද්ධමාතාවෝ සපිරිවරින් මෙහෙණවර බලා නික්මුණු දෑය, එ කෙණෙහි මහපොළොව ද කම්පිත විය, රැස් වූ දෙවි මිනිස්සු ද කම්පිත වූහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ සඟපිරිස් බලා “මහණෙනි! බුද්ධ මාතාවෝ නම් උත්තමයන්ගෙන් ආදර ලැබ්බ යුත්තාහ, ඔවුන්ට පසු ගමන් කරම්හ”යි හුනස්නෙන් පැන නැඟී තමන් වහන්සේ ගේ මඟුල්ලකුණෙන් දිලියෙන ශ්‍රී පාද යුගලයෙන් මිහිකත සනහ සනහා පෙර තමන් වහන්සේ දම්පල් නම් කුමාර කල මහා ප්‍රතාප නම් වූ දෙවිදත් රජහු තමන් වහන්සේ අහසට දම දමා අසිමාල නම් වධ කරවා මෛත්‍රී පාරමිතාව කුළුගැන් වූ දවස් “මා කළ වරදට තෙල වධ මට ම කරව, ම පුතණුවන්ට වධ නො කරව, ඔහු නිරපරාධයහ”යි යනාදීන් මහත් වූ විලාපයෙන් හඬ හඬා රත්පියුම් පෙති සේ රාජාඞ්ගණයෙහි ඒ ඒ තැන්හි කපා විසුරුවන ලද අතුල් පතුල් හිනලා සමහරක් තුරුල්ලෙහි ලලා “තොප නො නවත්නා බැවින් අතුල් පතුල් කැපූ බැවින් කන් නාසා කැපූ බැවින් තෙල කොට පුතණුවන් මට දීපියව, එතෙකින් හැරපියව, එතෙකින් හැරපියව”යි යනාදීන් කිය කියා හඬ හඬා, පවන්ගත් පේයාපතක් සේ රාජාඞ්ගණයෙහි ඒ ඒ තැන්හි පෙරළි පෙරළී ඔබට කරන්නා වූ වධ තුමූ තමාට කරන්නා සේ ඉවසාගත නොහී ඔබගේ ජීවිතක්ෂයට පළමුකොට ශ්‍රාන්ත ව, ළ පැළී මළා වූ උන් වහන්සේ තමන් වහන්සේට එ දවස් කළා වූ අපමණ වූ දරුසනාවට ම මෙ දවස් පසුගමන් නිමවා සංග්‍රහ කරන්නා සේ, ශ්‍රාවක සෙනඟ හා සමඟ වෙහෙර දොරටුව දක්වා ඔබට පසු ගමනින් පූජා කළසේක. මේ බුදුසස්නෙහි සත්ත්වයන්ට ලෝවැඩ නිසා ස්වාමිදරුවන් විනෙයජන පුද්ගලයන්ට පෙර ගමන් කළ තැන් බොහෝ සේ පෙනේ ම ය, බුදුන්ගෙන් පසුගමන් පූජාවක් ලද කෙනෙක් මේ මහාප්‍රජාපතී ගෝතමින් වහන්සේ විනා අනික් කිසිකෙනෙකුත් නැතැයි දත යුතු.

මෙසේ ස්වාමිදරුවන් ගොස් ඉන්ද්‍රඛිල මස්තකයෙහි රන්ගල් ද්වාරයෙක සිටි සිංහරාජයකු සේ වැඩ සිටි කල්හි නැවත බුදුන්ගේ ශ්‍රීපාද වැඳ ස්වාමීනි! මා ඇතුළු වූ සියලු සතුන්ගේ මැහැණියෙනි! පියාණෙනි! නුඹගේ අමාකඳක් බඳු වූ මේ රූපකාය හා, පුන්සඳක් බඳු වූ මේ ශ්‍රී මුඛය හා නවහම් මල්මාලාවක් බඳු වූ මේ ශ්‍රී පතුල් හා මේ මාගේ අන්තිම වූ දර්ශනය ය. තව ද මට සමු දුන මැනු වැ”යි කිය කියා බුදුන් පාදමූලයෙහි වැදහොත් දෑ ය. එ වේලෙහි දු නො එක් දෙවිමිනිස්සු කම්පිත වූහ. එ වේලෙහි ස්වාමිදරුවෝ තමන් වහන්සේගේ මුඛ නමැති පද්මයෙන් සුචඳගඳ විහිදුවා වදාරන සේක්.

නිබ්බායිස්සාමි ඉච්චෙවං-කිං වක්ඛාමි වදන්තියා

යස්ස දානිච්ච වො කාලං-මඤ්ඤථා’ති ජිනො බ්‍රැවි යි.

යන මේ ගාථාව වදාරා “සියලු සතුන් නිවන් පුරයට ම මෙහෙයන්නාවූ මම දැන් තොප නිවන් පුරයට යම්හ යි අවසර ඉල්වනුවන්ට කුමක් නම් කියම් ද, යෙහෙක, කල් දනුව” යි අවසර දී වදාළ සේක.

මහා ප්‍රජාපතීන්ගේ පරිනිර්වාණය හා ආදාහනය

එ කල උන් වහන්සේ සපිරිවරින් ගොස් මෙහෙණවරට වැද ආසනයට පැනනැඟී අර්ධපර්යඞ්කයෙන් වැඩහිඳ ප්‍රථමධ්‍යානයට සමවැදලා, එයින් ද්විතීයධ්‍යානයට සමවැදලා, එයින් තෘතීයධ්‍යානයට සමවැදලා, එයින් චතුර්ථධ්‍යානයට සමවැදලා එයින් ආකාසානඤ්චායතන ධ්‍යානය, විඤ්ඤානඤ්චායතන ධ්‍යානය, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානය යි නො එක් ධ්‍යානයට අනුලෝම - ප්‍රතිලෝමයෙන් නො එක් ශතසහස්‍ර වාරයෙහි සමවැද පහනක් නිවුවා සේ චෙතනාව නිරුද්ධ කොට නිවන්පුර ගොස්, කතක ප්‍රතිමා රූපයක් සේ වැඩහුන් සේක. එසේ ම පන්සියක් මෙහෙණින්නෝ ද තමන් තමන්ගේ ශයන මතුයෙහි අර්ධ පර්යඞ්කයෙන් ම හිඳ එම ක්‍රමයෙන් ම ඒ ක්‍ෂණයෙහි ම චෙතනාවන් නිරුද්ධ කොට ප්‍රතිබිම්බ මෙන් උන්හ.

එ කෙණෙහි ම මහී නමැති කාන්තා සියදහස් ගණන් වාරයෙහි මහහඬින් ගුගුරා වෙවුලා පැනනැඟී ආකාශයෙහි අකුණු සෙන විදුලිය ශතසහස්‍රයන් දක්වා අකාලයෙහි මේඝනාද පතුරුවා මහහඬින් ගුගුරා පැනනැංග. සියලු දෙවතාවෝ ද අහෝ ඛෙදය! අහෝ ඛෙද ය යි තුන්ලෝ පුරා ගුගුරා පැන නැංගහ. මහමෙර කුඹල්සකක් සේ භ්‍රමණය කොට කම්පිත ව නැමිණ. මහමුහුද හැළල ගිය. ආකාශයෙන් මල් වර්ෂා වැස්ස.

එ වේලෙහි සමහර දෙවියෝ වහ වහා දිව ගොස් “ස්වාමීනි! බුදුන් මවු වූ මහාප්‍රජාපතී ගොතමී නමැති ගුවන්සඳ ශාසනාම්බරයෙන් ගිලිහී පතිත වි ය, පන්සියයක් ශාක්‍ය මෙහෙණිනි තරු සමූහයෝ ද ගිලිහුණහ, නුඹගේ ශාසනය උනු වී ය”යි බුදුන්ට දැන් වූහ. එ වේලෙහි ස්වාමිදරුවාණෝ ආයුෂ්මත්වූ අනඳ මහතෙරුන් වහන්සේ බණවා “ආනන්දය! මාගේ ශ්‍රාවක සංඝයාට මෙ පවත් කියව, අද බුද්ධමාතාවෝ නිවන්පුර ගියහ, ඔවුන්ගේ ලොවට ඉතා අද්භූත වූ බුදුකෙනෙකු දු ලැබගත නො හැක්කා වූ ආදාහන මංගල්‍ය පූජා කාලයෙකැ”යි වදාළ සේක. එ තෙපුල් අසා අනඳ මහ තෙරුන් වහන්සේ දෑස් පිරුණු කඳුලෙන් සෝදුක් ඉවස ඉවසා සියලු භික්‍ෂු සංඝයා කරා ගොස් එ පවත් සැලකළ සේක. එ කෙණෙහි බුදුන්ගේ අදහස් දත් දෙවියෝ ද දසදහසක් යොදුන් දඹදිව මුළුල්ලෙහි වසන්නා තුණුරුවන් කෙරෙහි පහන් වූ සියලු ස්ත්‍රී පුරුෂයන් හා සියලු සංඝගණයා කරා දිව බුදුන් මවු මහාප්‍රජාපතී ගෝතමීන්ගේ අද ආදාහන මඞ්ගල්‍ය පූජාවෙක් විශාලා මහනුවර දී වෙයි. හැමදෙන ම නික්මෙව”යි මුළු දඹදිවට සැලකළහ. දඹදිවට මතු නොවෙයි, මේ සක්වළ දෙවියෝ දසදහසක් සක්වළ මුළුල්ලෙහි දිව්‍ය බ්‍රහ්ම සේනාවට ද දිව දිව ගොස් මෙ තෙපුල් කියා මොහොතක් කලින් රැස් කළහ.

එ කෙණෙහි දෙව්ලොව බඹලොව නාලොව ආදියෙහි ධ්‍යාන නිසා ගොස් වැඩහුන්නා වූ රහතන් වහන්සේ දක්වා බුදුන් සිතූ සිත හා සමඟ දික් කළ අතක් වක් නො කරන ඇසිල්ලෙහි අවුත් බුදුන් පෙරට පෙනුණු සේක. ඒ සා දඹදිව ප්‍රත්‍යන්තවල සිය දහස් යොදනෙහි පවා වසන පෘථග්ජන භික්‍ෂූහු බුද්ධානුභාවයෙන් පාත්‍ර චීවර ධරා එම වෙහෙර බෝමළුවෙක වත් පුරන්නට යනුවන් සේ කිසි පීඩාවක් නැතිව ම ගොස් ඒ වෙහෙර ම පුරා ගත්හ. දඹදිව තව ද ශ්‍රද්ධාවන්ත වූ නො එක් ස්ත්‍රී පුරුෂයෝ බාල දරුවනු දු වඩාගෙන ඉක්බිති ගෙයක කෙළියක් බලන්නට යනුවෙන් සේ කිසි පීඩාවක් නැතිවම පෙළ පෙළ දී කෙළ කෙළ ගොස් ඒ එක විශාලා මහනුවර ම රැස්වූහ. තෙසැට දහසක් රාජධානි ඇති දඹදිව් තෙලෙහි තුණුරුවන් කෙරෙහි පහන් රජ බමුණු වෙළඳ ගොවි චාතුර්වර්ණ ස්ත්‍රී පුරුෂයන් අතුරෙන් එ නුවරට නො ගියා වූ එක ද සත්ත්‍වකෙනෙක් නැත. මොහු එකනුවර කෙසේ සිටියාහු ද යත්?

බුදුන්ගේ ආනුභාවයෙන් ම සිටියහ. සතර මහදිව මනුෂ්‍යයන් ආව ත් තවත් අවකාශ පෙනේ ය. තව ද එක් මහිමයෙක් ඇත: එතෙක් සත්ත්වයන් අතුරෙන් යම් යම් කෙනෙක් යම් යම් කෙනෙකුන්ගේ දර්ශනයෙහි ප්‍රිය ඇතියාහු වූ නම් ඔහු ඔවුනොවුන්ට පෙනෙන්නාහු ම ය, යම් යම් කෙනෙකුන්ගේ දැක්මෙහි අරුචි ඇතියාහු වූ නම් ඔහු ඔවුනොවුන්ට නොපෙනෙන්නාහු ම ය. මෙයි දු මාගේ ස්වාමිදරුවන්ගේ බුද්ධ මහිමයෙක් ම ය, අවින්ත්‍ය ම ය, අසදෘශ ම ය, අද්භූත ම ය, ආශ්චර්‍ය්‍ය ම ය, පෙළහර ම ය, විස්මය ම ය, තව ද දසදහසක් සක්වළ රැස් වූ දිව්‍ය සේනාවට ද එම නය ම ය, එම ප්‍රකාර ම ය.

මෙසේ වූ දිව්‍ය බ්‍රහ්ම නාග සුපර්ණ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා ය යි යන අෂ්ට මහා පර්ෂදෙහි සමාගමය කෙතෙක් ඇසිල්ලෙකින් වී ද? යත්; මාගේ ස්වාමිදරුවන් ඒ අධිෂ්ඨාන චිත්තය කොට ගඳකිළියෙන් පිටත්ව ගොස් වෙහෙර දොරටුයෙහි ඉන්‍ද්‍රඛීලමස්තකයට ශ්‍රීපාද දිගුකරන ඇසිල්ලෙහි, මේ මහත් වූ සමාගමයෙක් වී ය යි දතයුතු. මෙසේ වූ අනූන වූ සමාගමයෙක් බුදුන් බුදුව වැඩහුන් පන්සාලිස් හවුරුද්ද මුළුල්ලෙහි අනික් කිසි කලෙකත් නුවූයේය.

එ කෙණෙහි විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා අවුදින් “අද මාගේ කර්‍මාන්ත විෂයෙහි ඵල ලැබ ගන්නා කලෙක් ම ය. අනික් ශිල්පියක්හට මේ පින්කම් නො දෙම්ම ය”යි සිතා පන්සියක් රන් සිවි ගෙවල් අසුරුසණෙකින් මවාලා මෙහෙණවර පිළිවෙළින් තබා පන්සියක් හිරිසඳ දෙවියන් විමන් හා සමඟ අහසින් බැස පූජාවට මිහි මඬලෙහි සිටගත්තා සේ රුවන්මඩු ශෝභාවෙන් සියලු නුවර ඒකාලෝක කොට තෙමේ බුදුන් පෙරට සිටගත.

එ කෙණෙහි එ නුවරින් දිවු සත්දහස් සත්සිය සත්දෙනකු පමණ ඇති ලිච්ඡවි බිසෝවරු උරෙහි අත්පැහැර පැහැර අවුදින් හඬා මුසපත්ව සන්හිඳි පන්සියක් මෙහෙණින්නන් ස්වහස්තයෙන් වඩා පන්සියක් රන්සිවි ගෙවලට වඩා සිසාරා අතුරු නො දී සිටියහ. දසදහසක් සක්වළ සතළිස් දහසක් වරම් රජදරුවෝ “බුදුන් මෑණියන් වහන්සේට අපි අපිම මඟුල් මෙහෙ කරම්හ”යි දිව අවුදින් පන්සියක් රුවන් මඬු ඔසවා තමන් තමන් කරින් උසුළාගෙන නික්මුනාහ. දස දහසක් සක්වළ ශක්‍ර-සුයාම-සන්තුෂි තාදි පනස් දහසක් දිව්‍ය රජදරුවෝ තමන් තමන්ට අවකාශ නැති හෙයින් සූක්‍ෂ්ම වූ අත් මවා එක කැණිමඬුල්ලට බොහෝ ගොනැස් ඉරවූවා සේ අත් දිගු කොට පන්සියක් රුවන්මඬුවල කුළුගෙවලට අත් දි දී යෙති.

එ කල ස්වාමිදරුවෝ ශ්‍රාවක ගණයා පිරිවරා පසු පස්සෙහි වඩනා සේක, එයිදු එක් පූජාවෙක. දස දහසක් සක්වළ සෙසු දෙවියෝ අහස්කුස්පුරා තමන් තමන්ගේ ශක්ති පමණින් පූජා කෙරෙමින් යෙති, බ්‍රහ්මයෝ බ්‍රහ්ම සෘද්ධීන් පූජාකෙරෙති, සමහර දෙවියෝ දිව්‍යසෘද්ධීන් පූජාකෙරෙති, අසුරයෝ අසුර ඍද්ධීන් පූජා කෙරෙති, නාගයෝ නාග සෘද්ධීන් පූජා කෙරෙති. ගරුඬයෝ ගරුඬ සෘද්ධීන් පූජා කෙරෙති, ගන්‍ධර්වාදි සෙසු දෙවියෝ තමන් තමන්ගේ ඍද්ධීන් පූජා කෙරෙති, සමහර දෙවියෝ අහස් වියන් ධරා යෙති, හිරිමඬල සඳමඬල ආකාශයෙහි පෙනි පෙනී සිටගත. සක්වළගබ මුළුල්ලෙහි සියලු තාරකාවෝ ද දිලිහි දිලිහී පෙනෙන්නට පටන්ගත්හ. මධ්‍යාහ්න සූර්යයා රාත්‍රි චන්ද්‍රයා සේ සොමි පහස් දෙන රශ්මි පතුරු වන්නට පටන් ගත. තව ද එක් පෙළහරකුදු ඇත: රුවන් මඬු උසුළා යන දෙවියෝ මිනිසුන්ට නො පෙනෙති, උසුළා යන මනුෂ්‍ය කෙනකුදු නැත, පන්සියක් සඳමඬුළු ආකාශයෙන් යන්නා සේ පන්සියක් නකත් තරු පෙළක් සේ, පන්සිය රුවන් ආකාශයෙන් තෙමේ ම යෙයි. මෙයි දු එක් පෙළහරෙක. පළමු ව යන ලිච්ඡවි රජුන් ආදි වූ මුළු දඹදිව මනුෂ්‍ය සේනා ය, පසුපස්සෙහි වඩනා බුදුරජාණන් හා අසූ මහ සවුවන් හා, ඔවුන්ගේ පන්සිය පන්සිය පිරිවර හා, අවශේෂ වූ ලක්ෂගණන් කෝටිගණන් සඟ පිරිසෙක, ආකාශයෙන් යන මහත් වූ දිව්‍ය සේනාවෙක, මෙයි දු එක් පෙළහරෙක. මෙසේ මහත් වූ දිව්‍ය මනුෂ්‍ය සේනාවෙන් ස්වාමිදරුවාණෝ ආදාහන භූමියට වැඩ ශ්‍රාවකයන් බණවා “මහණෙනි! මෙසේ වූ ආදාහන පූජාවෙක් බුදුකෙනකුන්ගේ සස්නෙක, බුදුකෙනකුන් පූජාකරන වෙන තැනෙක් නැත, එසේ හෙයින් බුද්ධමාතාවන්ගේ ආදාහනයෙහි අනූනවූ ශ්‍රාවක සංඝයා සහිත වූ බුදුකෙනකුදු පූජා කළහ, මේ මේ කාරණයෙන් මේ ආදාහන පූජාව මහණෙනි, අද්භූත ම ය අසදෘශ ම යයි වදාරන සේක්:-

න බුද්ධො බුද්ධනිබ්බානෙ-නො පදිස්සති භික්ඛවො

බුද්ධො ගොතමි නිබ්බානෙ-සාරිපුත්තාදි කා කථා:-යි.

යනාදින් බණ වදාළ සේක. එ වේලෙහි දු මහපීරිස සාධුකාර දුන්හ. එ කෙණෙහි ලිච්ඡවි රජදරුවෝ ද පන්සියක් සඳුන් දරසෑ බැඳ එහි වඩා ආදාහනපූජා කරන්නාහු සුවඳ තෙල් සුවඳ සුණු ඉස ඉස මහ පෙරහරින් ආදාහන පූජා කළහ. පන්සියක් භික්‍ෂුණීන්ගේ ධාතු නිරවශේෂයෙන් ම ආදාහන විය. මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේගේ ධාතු මුතු රැසක් සේ නො දා ම තුබුයේය. අනඳ මහතෙරුන් වහන්සේ ඔබගේ ධාතු බුදුන්ගේ පාත්‍ර ධාතුවට වඩා ධාතුයෙන් ධාතු ගෙන බුදුන්ගේ ශ්‍රීහස්ත ධාතුවට දුන්සේක. බුදුහු ඒ ධාතු බලා ධර්‍ම සංවේගයට පැමිණ අශීති මහාශ්‍රාවකයන් ආදිවූ සියලු මහසඟනට දක්වා සුරක්ත වූ තමන් වහන්සේගේ ශ්‍රීහස්තයෙන් කොඳකැකුළු සේ මුතු සුණු සේ ඒ ධාතු පැ පෑ:-

පණ්ඩිතාසි මහාපඤ්ඤා - පුථුපඤ්ඤා තථෙ'වච,

රත්තඤ්ඤු භික්ඛුණීනං සා-එවං ධාරෙථ භික්ඛවො.

.

ඉද්ධියා ච වසී ආසී-දිබ්බාය සොතධාතුයා,

චෙතො පරියඤාණස්ස-වසී ආසි ච ගොතමී.

.

පුබ්බේ නිවාසං අඤ්ඤාසී-දිබ්බ චක්ඛුං විසොධිතං,

සබ්බාසවා පරික්ඛීණා-නත්ථි තස්සා පුනබ්භවො.

.

අත්තදීපගතා හොථ-සතිපට්ඨාන ගොචරා,

භාවෙත්‍වා සත්තබොජ්ඣඞ්ගෙ-දුක්ඛස්ස‘න්තං කරිස්සථ යි.

යනාදි ගාථා වදාරා “මහණෙනි! මේ මහා ප්‍රජාපති ගොතමී තොමෝ මහ නුවණ ඇත්තීය, මහමුහුද සේ ගැඹුරු වූ නුවණ ඇත්තී ය, ආකාශ ය සේ විශාරද ව පවත්නා වූ ඥාන විශේෂයන් ඇත්තීය, මාගේ ශාසනයෙහි සියලු භික්ෂුණීන් අතුරෙන් රාත්‍රඥයන් කෙරෙහි අග්‍ර වුව. අසාධාරණ වූ සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය ඇත්තාහුය. ලක්ෂයක් සක්වළ ක්ෂුද්‍ර ප්‍රාණීන්ගේ දක්වා සියලු ශබ්ද විශේෂයෙන් තමා කන්මුලදී කරන කථාවක් සේ අසන්නට සමර්ථ වූ අසාධාරණවූ දිවකන් ඇතියහ. සියලු සතුන්ගේ සිත් දන්නා නුවණ ඇතියහ. ලක්‍ෂ ගණන් කප්වල උපන් උපන් ජාති එක දවසෙක කළාවූ කටයුත්තක් සේ විශේෂයෙන් දන්නා ජාතිස්මරණ ඤාණ ඇතියහ, ලක්‍ෂයක් වන සක්වළ තිබූ අබ බිජු දක්වා විශේෂයෙන් දක්නා දිවැස් ඇතියහ, සියලු ආශ්‍රවයන් ක්‍ෂය කළහ. එ වැනි මහතුන්ට පවා නො නැවැත්තාවූ මේ ස්වභාව ධර්‍මයෙක, මහණෙනි! තෙපි තෙපි දු තොප තොපට සිතා නම් අප්‍රමාද ව භාවනාවෙහි යෙදී සංසාර දුර්‍ගයෙන් ගොඩනැඟී ඔවුන් සේ ම අමාමහ නිවන් දකුව”යි බණ වදාරා ඒ ධාතු එ නුවර ම පිහිටුවා ලිච්ඡවි රජුන් ලවා මහාචෛත්‍යයක් කරවා එහිදු අපමණවූ පූජා කරවා, දවස් පතා නොඑක් සත්කාර කරන සේ නියෝග කොට තමන් වහන්සේද ඒ සෑය මලින් ගඳින් පුදා ශ්‍රාවකයන් හා සමඟ මහසෑය සිසාරා ප්‍රදක්‍ෂිණා කොට සියලු සතුන්ට බණ වදාරා, නොඑක් ලෝවැඩ කොට එයින් ශ්‍රාවකයන් පිරිවරා දෙවුරම් වෙහෙරට ම වැඩි සේක.

මෙසේ මේ මහා ප්‍රජාපති ගොතමීන් වහන්සේ ආදි වූ පන්සියක් සාක්‍ය මෙහෙණින්නන් විසින් කළාවූ යථොක්ත වූ පන්සියක් ප්‍රතිපත්ති පූජාවන් ලත් හෙයින්ද මා විසින් පවා සඞ්ඛ්‍යාවක් කොට ගත නො හැක්කාවූ අප්‍රමාණ වූ ප්‍රාතිභාර්‍ය්‍යාදි නො එක් පූජාවන් ලත් හෙයින්ද, ඔබට තමන් වහන්සේ කැරවූ මේ ආදාහන පූජාව මවුන් හිමි සැපත් දරුවන් හිමි වන හෙයින් තමන් වහන්සේම ලදුවා නම් වන හෙයිනු ත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:-

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථෙ,

අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං–යි.

මේ පූජාවලියෙහි අප බුදුන් මහාප්‍රජාපත්‍යාදි ශ්‍රාවිකාවන්ගෙන් ලද

භික්ෂුණී ප්‍රතිපත්ති පූජා කථා නම් වූ සත් විසි වන පරිච්ඡේදය නිමි.

28. ජීවකාරාම පූජා කථා

තව ද: අප බුදුන් ජීවකයන්ගෙන් ලද ජීවකාරාම පූජා නම් කවරහ යත්? එහි පිළිවෙළ කථාව සාවධාන ව ඇසිය යුතු.

එ නුවර මහාමන්‍ධාතාදි සක්විති රජුන්ගෙන් ම පරිගෘහිත වූ හෙයින්ද, වෙහාරාදි පර්‍වත රාජයන් විසින් පරිගෘහිත වූ හෙයින්ද, සියලු සත්ත්වයන්ගේ ගෙවල් රජුන්ගේ ගෙවල් හා සම වූ හෙයින්ද, නො එක් සර්‍වඥරාජයන්ට පිණ්ඩපාත ගෘහයක් බඳු වූ හෙයින් ද, බුද්ධොත්පාදයෙහි බුද්ධදර්ශනය නිසා රැස්වන්නාවූ චන්ද්‍ර සූර්‍ය්‍යාදි රාජග්‍රහයන්ගෙන් පරිග්‍රහ වන හෙයින්දැයි නානා විධවූ අර්ථයෙන් ඒ නුවර රාජගෘහ ය යි නම් වි ය. එසේ හෙයින් එ නුවර බුදුන් දවස ද චක්‍රවර්තින් දවසද නුවර වෙයි, සෙසු කල යක්‍ෂරාක්‍ෂසයන්ගෙන් පරිගෘහිත ව ඔවුන්ට ම වසනොද්‍යානයක් සේ තිබෙ යි.

ඔහු ජීවකය කොමාරභච්චය යි නම් දෙකක් කුමක් නිසා ලදුවාහු ද යත්?

ලෝකයෙහි ආවත්‍ථික ය, ලිඞ්ගික ය, නෙමිත්තක ය, අධිච්ච සමුප්පන්න යයි නාමයෝ සතරදෙනෙක් වෙති. එයින් කොලු ය, කෙලි ය, කොඹු ය, කෙඹි ය, වසු ය, වැසි ය, ළදරු ය, ළදැරි ය, මහලු ය, මැහැලි ය, යනාදී වසයෙන් සත්ත්‍වයන්ගේ ඒ ඒ වයස් බලා කියන නම් ආවත්ථික නම. කළු ය, එළලු ය, කුරු ය, කුදු ය, කෘශය, ස්ථුල ය, ශිඛණ්ඩි ය, දුන්නා ය, කුන්තයා ය, පලඟයා ය, ඡත්තපාණී ය, දණ්ඩපාණී ය යනාදි වසයෙන් සත්ත්‍වයන්ගේ ම සංඥාව නිසා කියන නම් ලිඞ්ගික නම. ධර්‍මධර ය, පණ්ඩිත ය, බහුශ්‍රැත ය, ස්ථවිර ය, ශ්‍රොතාපන්න ය, ආර්‍ය්‍ය ය, සර්‍වඥ ය, දසබලධර ය යනාදි වසයෙන් සත්ත්‍වයන් පැමිණියාවූ ගුණධර්‍මයන් ගෙන කියන නම් නෙමිත්තක නම, සිරිවඩ්ඪ ය, ධනවඩ්ඪ ය, අජිත ය, සිද්ධාර්ථ ය, ගෝතම ය, ශාක්‍යසිංහ ය, ආදිච්චබන්‍ධු ය, පරාක්‍රමබාහු ය, වික්‍රම බාහු ය, වීරබාහු ය, විජය බාහු ය, ජය බාහු ය, නිස්සඞ්කමල්ල ය, ත්‍රිභූවන මල්ලය, සාහස මල්ල ය, භුවනෙක බාහුය, ගජබාහුය, යනාදි වශයෙන් සත්ත්‍වයන්ගේ ඉච්ඡානුරූප වූ පරිද්දෙන් ලබන ලද නාමයෝ අධිච්චසමුප්පන්න නම් වෙති.

මෙ තැන වනාහී රාහු ලො ජාතො, බන්‍ධනං මෙ උප්පන්නං කී වචනය නිසා “රාහුල” නම් ලදුවා සේ, අඤ්ඤාසි වත හො කොණ්ඩඤ්ඤො යි වදාළ වචනය නිසා “අඤ්ඤා කොණ්ඩඤ්ඤ” නම් ලදුවා සේ, සක්‍යා වත භො රාජකුමාරායි කී වචන නිසා “ශාක්‍ය” නම් ලදුවා සේ, කුමාර පෙරහරින් වැඩි හෙයින් “කුමාර කාශ්‍යප” නම් ලදුවා සේ, පන්‍ථයෙහි ජාත හෙයින් “පන්ථක” නම් ලදුවා සේ, ස්වර්ණසාරයක් බඳු වූ රූපසාරයක් ඇති හෙයින් “බිම්බිසාර” නම් ලදුවා සේ, මහා ප්‍රජාවට පති හෙයින් “මහා ප්‍රජාපති” නම් ලදුවා සේ, මහා යශස් දරණ හෙයින් “යශෝධරා” නම් ලදුවා සේ, කපිල නම් සෘෂීන්ගේ පණ්ණශාලා භූමියෙහි උපන් හෙයින් “කපිල වස්තු” නම් ලදුවා සේ කෝළිය වෘක්‍ෂභූමියෙහි ජාත හෙයින් “කොළිය” නම් ලදුවා සේ, ශ්‍රාවස්ති නම් සෘෂීන්ගේ පන්සල් භූමියෙහි ජාත හෙයින් “ශ්‍රාවස්ති” නම් ලදුවා සේ, මොහු ද අභය රාජ කුමාරයන් විසින් ජීවකො කී වචනය නිසා “ජීවක” නම් ලදහ, ඒ කුමාරයන් විසින් වඩන ලද හෙයින් කොමාර භච්ච නම් ලදහ යි දතයුතු. මේ ඔවුන්ගේ පිළිවෙළ කථාව ය.

ජීවක කතාව

විශාලා මහනුවර අම්බපාලි නම් ගණිකාවක් ඇත, ඕතොමෝ දිව්‍ය සමාන වූ ශරීරවර්ණ ඇත්තී ය, සල්ලාලයන් මන වඩන්නාවූ රූපවිලාස ඇත්තී ය. දහස් ගණන් පරිවාර ජනයන් ඇත්තී ය. සත් දහස් සත්සිය සත් ලිච්ඡවි රජුන් කෙරෙහි ද ඉතා වල්ලභ ය. එ නුවර නැඟු ධ්වජයක් වැන්නී ය. සල්ලාලයෝ දවස දහසක්දී ඇය ප්‍රාර්ථනා කරන්නාහුය. ඒ නුවර ඇගෙන් ම හොබන්නේ ය යි දඹදිව ප්‍රසිද්ධ විය.

එ කල රජගහා නුවර බිම්බිසාර රජ්ජුරුවෝ එ පවත් අසා “චක්‍රවර්තින් උපදනා වූ අමිතභොගී සිටුවරුන්ගෙන් හා අටළොස් කෙළක් කුලයෙන් ශෝභාවත් වූ මාගේ මෙබඳු වූ ශ්‍රී නගරයක් විශාලා මහනුවරට එක ගණිකාවක නිසා අඩු වනු නො යෙදෙයි, මාගේ නුවර ද වෙශ්‍යාවකගෙන් ශෝභාවත් කරමි”යි සිතා එ නුවර මුළුල්ලෙහි රූපත්වූ ස්ත්‍රීන් පරීක්ෂා කොට සාලවතී නම් කුමාරිකාවක උතුම් රූ ඇති සේ අසා ඇය රාජාඞ්ගණයට ගෙන්වා මුළු නුවර වැස්සන් රැස් කොට මෙ පවත් කියා “අපි ම ඇති කරම්හ”යි මන්ත්‍රණය කොට නුවර වැසියන්ගෙන් මසුරන් දෙලක්ෂයක් හා තමන්ගෙන් ලක්ෂයක් හා මෙසේ තුන් ලක්ෂයක් මසුරන් හා වෙශ්‍යාවන්ට සුදුසු වූ රුවන් පලඳනා හා පිරිවර ජනයන් හා උයන් පොකුණු බත්ගම් ආදි වූ නො එක් සැපත් හා සත්බුමු මහ පායකු දු දී, එ නුවරට අග්‍ර වූ වෙශ්‍යා තනතුරු දී දවස දෙදහසක් දී, ඇය කරා පුරුෂයන් වදිනා සේ නියෝග කොට අම්බපාලී නම් ගණිකාවට දියුණු වූ ස්ථානාන්තර හා සම්පත් දුන්හ. එ තැන් පටන් ඒ සාලවතී නම් ගණිකාව ද එ නුවර නැඟු ධ්වජයක් සේ ප්‍රසිද්ධ විය.

එ කල ඒ නුවර බිම්බිසාර රජ්ජුරුවන්ට පුත් වූ අභය නම් රාජ කුමාරයෝ ද ඒ වෙශ්‍යාව කරා වදිනාහ, එසේ හෙයින් ඒ රාජකුමාරයන් ඇය කරා වැදගිය දවසෙක ඒ රාජකුමාරයන් උදෙසා ඈට දරුගැබෙක් උපණ: රාජකුමාරයෝ නො දන්නාහ. වෙශ්‍යාවෝ නම් දරුවන් ඇතත් නැත්තා සේ පුරුෂයන් වඤ්චා කරන ස්වභාව ඇත්තාහ, පුතුන් ලද කල වල දමන්නාහ, දූන් ලද කල නො හඟවා වඩන්නාහ. එසේ වූ ධර්‍මයක් ඇති හෙයින් ඕ ද තමා දරු ලදහ යි නුවරට සැලව ගියේ වී නම් සල්ලාලයෝ මා කෙරෙහි සරු නැති ව යන්නාහ, මායමක් කෙරෙමි යි සිතා පරිවාර ස්ත්‍රියක කැඳවා “මා කරා ආ කෙනෙක් ඇත් නම් මා ලෙඩහ යි කියා පුරුෂයන් ඇතුළට නොගෙනැ’’යි උගන්වා දසමසක් ගිය කල පුතකු වදා ඔහු කුලුමාල්ලෙක ලවා මතුයෙහි කසළ ලා වසා “මොහු නුවරින් පිටත ගෙන ගොස් උක්කාර භූමියෙහි ලා පියව’”යි එම කෙල්ල අත යවා දම්මවා තමාගේ ගෙය සුවඳ පිරිබඩ ගෙන ලෙඩින් ගොඩ නැංගා සේ අතුරක් නො හඟවා පෙර සේම වෙසෙයි.

එ දවස් අභය රාජකුමාරයෝ එ නුවර ක්‍රීඩාවෙන් ඇවිදිනාහු ය. එකල කපුටුවෝ කුමරහු කරා රැස් ව මස්වැදැල්ලෙකැ යි සිසාරා අතුරු නො දී තුඩු අමෝරා ගෙන කුමරහුගේ පින් බලයෙන් කිසිවක් කොට ලිය නොහී කාරැස් බඳිති. එ කල රාජ කුමාරයෝ “තෙල කපුටුවන් කාරැස් බඳනේ කුමන කුණපයකටදැ”යි විචාරා “ස්වාමීනි! වලදමාපු බාල දරුකෙනෙකුන්ටය”යි කී කල ජීවත් ද අජීවත් දැ යි විචාරා “ස්වාමීනි! ජීවතැ”යි කී කල “ඔහු මෙසේ ගෙනෙව”යි ගෙන්වා කුමරහු දැක කුමරහුගේ ඒ ජාතියෙහි සෝවාන් වන පින් බලයෙන් හා තමන්ට ජාත වූ පුත්‍ර ස්නේහයෙන් හා ආද්‍ර වූ සිත් ඇති ව එ කෙණෙහි දරුපෙම් බැඳ රජගෙට ගෙන ගොස් කිරිමවුන්ට පාවාදී කුමාර පෙරහරින් නො එක් මඟුල් කරවා වැඩූහ. ජීවත් දැ යි කී බස නිසා ජීවක නම් වූහ, කුමාරයන් වැඩු හෙයින් කොමාර භච්ච නම් වූහ.

මෙසේ වැඩෙන්නාවූ ඒ ජීවකයන් සත් අට හැවිරිදි වූ කල කෙළිමඬලෙහි සෙසු රජකුමරුවෝ “මවුන් නැත්තව”යි කිය කියා බැණ බැණ කෙළිති. එ කල ජීවකයෝ ලජ්ජා ඇති ව අභය රාජකුමාරයන් කරා පලාගොස් “ස්වාමීනි! මා වැදුවෝ කවුරුදැ”යි විචාළහ. එ කල රාජකුමාරයෝ මඳක් සී “තොප පියාණෝ නම් මම ය, තොප මවුන් කා බව ත් නො දන්මි, තොප වල දමා පියා ඔත් තැන දැක වඩා ගතිමි”යි කීහ.

එ තැන් පටන් ජීවකයෝ තමන් වූ පවත් දැන “මාගේ කිසි නෑසිය කෙනෙකු ත් නැත, මතු මට හිමි වන කුලසැපතෙකුදු නැත, එසේ හෙයින් මා විසින් ශිල්පයක් හදාරා ගත මැනව, ශිල්ප බලයෙන් බොහෝ දෙනා නෑ කොට ගෙන ධන උපදවා ගත මැනැව, කෙසේ වූ ශිල්පයක් හදාරම් දෝ හෝ” යි නිරවද්‍ය වූ ශිල්ප පරීක්‍ෂා කරන්නාහු “අෂ්ටාදශ ශිල්ප හා සුසැට කලා ශිල්පයෙන් සෙසු ශිල්ප පරපීඩා-පරහිංසා මිශ්‍රය, වෛද්‍ය ශිල්පය හදාරා ගතිම් නම් වෛද්‍යාචාර්‍ය්‍ය ය යන නම් ඇසූ කල ම සත්ත්වයෝ මවුන් පියන් ගුරු කොට සිතා ඔවුන් කෙරෙහි ප්‍රිය ඇති වන්නාහු ය, වෛද්‍යශාස්ත්‍ර ය නම් දතුවාහට මෙ ලොව ත් වැඩ වෙයි, පරලොවත් වැඩ වෙයි, එසේ හෙයින් වෛද්‍ය ශාස්ත්‍ර ය ම උගනිමි”යි සිතා තක්සලා නුවර ගොස් දිසාපාමොක් ආචාරීන් දැක තමන් ආ පවත් කියා සිටියහ.

ආචාරි “තෙපි කවුරුදැ”යි විචාළ කල “අනිකක් කීම් නම් මා කෙරෙහි ආදර නොකරති”යි සිතා “රජගහා නුවර බිම්බිසාර රජ්ජුරුවන්ගේ මුනුබුරානෙමි, අභය නම් රාජ කුමාරයන් පුතණු වෙමි”යි කීහ. කුමන ශාස්ත්‍රයක් උගනු දැ යි විචාළහ; වෛද්‍ය ශාස්ත්‍රය උගනිමියි කීහ, ආචාරිහු “ආචාරිභාගය ගෙනවුදැ” යි විචාළහ; දෙමවුපියන්ට නො කියා ශිල්ප ලෝභයෙන් සොරා අයිමි, එසේ හෙයින් ආචාර්‍ය්‍යභාග ය නො ගෙනායෙමි, නුඹවහන්සේට මෙහෙ කොට ධර්මාන්තෙවාසික ව ශිල්ප හදාරමි යි කීහ. එ කල ආචාරි “මෙ තෙම පින්වත් පුරුෂයෙකැ” යි සිතා ශුභ මොහොතකින් වෛද්‍යයට පටන් ගැන්වූහ.

එ වේලෙහි “බුදුන්ට පිළියම් කෙරෙමි”යි කප්ලක්ෂයක් පැරුම් පුරා ආ කෘතාධිකාර පුණ්‍යවන්තයා හෙයිනුත් බුදුනුදු දිව්‍යමය වූ පිළියම් ලද මනා පිනිනු ත් ශක්‍රයාගේ භවනය කම්පා වි ය. එ වේලෙහි ශක්‍රදේවේන්ද්‍රයෝ මොහු දැක “මාගේ බුදුන්ට මතු පිළියම් කරන වෙදහුට මම ආචාරි වෙමි”යි සිතා එ කෙණෙහිම අවුදින් ආචාරීන් මුඛයෙහි අධිගෘහිත ව ශක්‍රයෝම අසන තැන් කියන්නට පටන් ගත්හ. අසන තැන් කියා අන්තයෙහි ශක්‍රයෝ ආචාරීන් ඇඟින් පහ වෙති, ජීවකයෝ “ආචාරීන් ම අසන තැන් කියති”යි සිතති. ආචාරි තමන්ගේ බලයක් නො වන නියාවත් දෙවියන්ගේ බලයෙන්ම අසන තැන් කියන නියාවත් විශේෂයෙන්ම දනිති. කුමක් නිසා දනිද්ද? යත්; ජීවකයන් උගත් දිව්‍ය ඖෂධ වල නම් ආචාරි කුමක් බවු නො දනිති, ජීවකයන් තමන් අතින් අසාගෙන සන්හිඳුවාලන ව්‍යාධි ආචාරි සන්හිඳුවාලිය නො හෙති, මේ කාරණයෙන් ආචාරි දෙවියන්ගේ බල බැව් විශේෂයෙන් ම දනිති.

ජීවකයන්ගේ වෛද්‍යය නිමවීම

එ කල කර්‍මාන්විත වූ ව්‍යාධියක් හැර අවශේෂ වූ ව්‍යාධි, එක ආලෙප මාත්‍රයෙකින් අන්තර්ධාන වන තරම් දිව්‍යමය වූ ඖෂධ උගන්වන්නා වූ ශක්‍රයෝ ජීවකයන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි වෛද්‍යශාස්ත්‍රය උගන්වා නිම වූහ. ශක්‍රයන්ගේ ආනුභාවයෙන් උගන්නා ශිල්පය කල් පමාකොට ලා ගියේ යත්ද? එසේ නැති; අනුන් සොළොස් හවුරුද්දෙකින් උගන්වන්නා වූ ශිල්පය‍ට ශක්‍රයෝ තමන්ගේ ආනුභාවයෙන් ජීවකයන් සත් හවුරුද්දෙකින් ඉගැන්වූහ.

එ කල ජීවකයෝ වෛද්‍යය තමන්ට නිමි සේ දැන ආචාරීන් කරා ගොස් “ස්වාමීනි! නුඹගේ මේ ශිල්පයෙහි නිමාවෙක් කවර කලෙක වේ දැ'යි විචාළහ. ආචාරි ”මොහුගේ ආනුභාවයෙන් ජීවකයන් ශක්ති පරීක්ෂා කෙරෙමි’යි සිතා “එසේ වී නම් පුත තෙපි මේ නුවර සතර වාසලින් පිටත් වලා, සතර දවසක් සතර යොදනක් තැන් වෙන වෙන ම ඇවිද ඖෂධයකට නො ගත හැකි මුලක් මලක් පොත්තක් අත්තක් ඵලයක් පතක් සොයා ගෙන අවුත් මට පෑ බලගැ”යි කීහ. එ කල ජීවකයෝ යහපතැයි ගිවිස සතර දවසක් දිවාභාගය මුළුල්ලෙහි සොළොස් ගවු තැන ඇවිද ඖෂධයකට නො තරම් වූ කිසි යම් ද්‍රව්‍යයක් නො දැක ආචාරීන් කරා අවුත් “ස්වාමීනි! මේ මිනිස්ලොව නම් පූර්වයෙහි ඖෂධයෙන් ම මවනලද වන, ඖෂධ ඝටිකාවක් වැන්න, ඖෂධයකට නො ගත හැකි වස්තුවක් නො ලද්දෙමි” යි කීහ. එ වේලෙහි ආචාරි සමාධිව “පුත! තොපට වෛද්‍යය අද පටන් නිමියේ ය, මේ මුළු පොළොව තොප තරම් වෛද්‍යාචාරි කෙනෙක් නැත, මම තොපට ආචාරිකමට අයෝග්‍යයෙමි, තෙපි මට ආචාරි වව’යි කියා ජීවකයන් සිඹ සනහා ගමට යව යි සමු දුන්හ. එ වේලෙහි ශක්‍රයා ද මුඛයෙන් පහ වී ය.

එ වේලෙහි ආචාරි සිතන්නාහු “මේ කුමර මහාපුණ්‍යවන්තයෙක, මා ගුරුකම් කළා යි යන නාමමාත්‍රයක්වත් මුත් මේ තෙමේ දිව්‍ය ගුරුන් ඇතියේය, දිව්‍යමය වූ ඖෂධ දතුයේය, මෝහට මාගෙන් උපකරණ දී, මිනිසුන් දී, සියනුවරට යැවීම් නම් මොහුගේ ශිල්පානුභාවය නොපෙනෙ’යි සිතා එක් දෙ දවසකට මාගොප මාර්ගෝපකරණයක් ලාලා සමුදී යවූහ. එ කල ජීවකයෝ ගුරුන් වැඳ සමුගෙන සිය නුවරට යන්නාහු “මඟට බතක් සාලක් උව මැනැවැ” සිතා අතුරුමඟ සාකේත නම් නුවරට පැමිණියහ.

ජීවකයන්ගේ පළමු වෙදකම

ඒ නුවර අසූකෙළක් ධන ඇති සිටාණන්ගේ සිටුදේවීන්ට ශීර්ෂාබාධයක් ඇතිව සත් හවුරුද්දක් මුළුල්ලෙහි මහත් වූ ව්‍යසන වී ය, දඹදිව බොහෝ වෛද්‍යාචාරිවරයෝ “අපි සන්හිඳුවම්හ, අපි සන්හිඳුවම්හ” යි වාසි කිය කියා අවුත් නො එක් පිළියම් කොට සම්පත් ගෙන යන්නාහු ය, ශීර්ෂාබාධ ය ඇසිල්ලෙකුත් සන්හිඳුවාලිය නුහුනුවාහුය. ජීවකයෝ එපවත් අසා ඒ සිටාණන්ගේ සත්වන වාසලට ගොස් සිට “වෛද්‍යයෙහි බලවත් ආචාරි කෙනෙක් වාසල සිටියෝ ය”යි කියා යවූහ. සිටුදේවී එ පවත් අසා ජීවකයන්ගේ වයස් විචාරා බාල දරුකෙනෙකැ යි අසා සිනාසී “දඹදිව ප්‍රසිද්ධ ආචාරිවරහු අවුත් මා ඇසිල්ලකුත් නිදවාපිය නුහුනුවහ, කිරිබොන තරම් බාල දරු කෙනෙක් කුමක් කෙරෙද්දැ”යි කියා “තමන් බඩසා වුව හොත් බත් ලවාගෙන කන්ට කියව, අනික් කිසි අඵාසුවෙක් ඇත් නම් ඉල්වා ගෙන යන්ට කියව, නන් නො දොඩා ආපස්සෙහි යන්ට කියව”යි කියා යවූහ.

ජීවකයෝ එ පවත් අසා “ශාස්ත්‍රය නම් බාල ය වැඩිමහලු ය යි යන බැවහාර නැත්තේය. නුවණ නම් වයස් නිසා ඇති වන දෙයෙක් නොවෙයි, මා දත් ශාස්ත්‍රය මුත් මාගේ වයසින් තමන් වහන්සේට ප්‍රයෝජන කිම් ද, තෙල රුජාව සන්හිඳුවාලා මුත් නොයෙමි, වැළිදු ධනහානියකුත් නො කෙරෙමි, මාගේ ශාස්ත්‍රබල දක්වා මුත් කිසිවක් නො ගන්මි”යි කියා යවූහ. සිටුදේවී ජීවකයන්ගේ නිර්භීත වූ සාරභාර තෙපුල් අසා ඉතා සතුටු ව පෙර ගමන් කොට ගොස් ජීවකයන් කැඳවා සාමීචි කථාකොට බත් බුලත් දී සතපා හිඳිනා අසුන් දී ‘‘පුතණුවනි! සත් හවුරුද්දක් මුළුල්ලෙහි නින්දක් නොලද්දාවූ මා එකදවසක් නිඳවාපිය නොහෙනුයේ දැ”යි විචාළහ. ජීවකයෝ “ඇසිල්ලෙකින් සන්හිඳුවාලමි යි පතක් පමණ ගිතෙල් උව මැනැවැ”යි කියා ගෙන්වා ගෙන තමන් අතින් නො එක් ඖෂධ ලා තෙල් සිඳ නිවා නශ්‍ය කළහ. තෙල ඉසට උරාගැන්ම හා සමඟ තෙලින් භාගයෙක් ඉසට නැංග, භාගයක් මුඛයට බට. මුඛයට බට තෙල් බිමට දමා “කෙල්ලනි! තෙල තෙල් පුලුනෙන් ඉඳ රැක තබව”යි කියා තෙල් ඉඳුවා තැබ්බුහ. එ වේලෙහි ජීවකයෝ බිම හුණු තෙලිත්ත හිඳිනා දැක මා කෙළේ කිම් ද, තෙල් බින්දුවට පවා මේ සා වූ ලෝභ කරන්නාහු මට දියයුතු කුලී කෙසේ නම් දීපිහෙද් දැ”යි සිත සිතා කලකිරී සිටියහ. සිටුදේවී ජීවකයන්ගේ අදහස් දැන “පුත! කුමක් සිතා සිටිනේ දැ” යි විචාළහ.

ජීවකයෝ “දේවීන් වහන්ස! නුඹගේ සම්පත් ලෝභය සිත සිතා සිටියෙමි, මා අතින් බොහෝ ඖෂධ නසා මේ තෙල් කකාළෙමි, බිම වැගිර ගිය තෙලිත්තට නුඹ වහන්සේ මෙසේ ලෝභ කල, සේක් නම් කෙසේ නම් මට මිල දෙනුයේද, මා අත තුබූ බෙහෙත් බඩුයෙනු ත් නො වෙම් දෝ හෝ යි සිතමි”යි කීහ. එ බසට සිටු දියණියෝ කියන්නාහු “පුතණ්ඩ! එසේ නො කියව, අපි උපයන අවස්ථාවෙහි මෙසේ සියුම් ව උපයන සේත් දනුම්හ, වියදම් කරන අවස්ථාවෙහි උදාර කොට දෙන සේත් දනුම්හ, අනාථයේ වල දමන සේ නො දනුම්හ, බිම හී ගිය තෙලිත්තෙන් කිසිවක් හට ප්‍රයෝජන නැත. පුලුනින් ගත් තෙලිත්ත පහනක් හෝ අවුළුවාලිය හැක්ක, නැතහොත් කන හෝ තබාගත හැක්ක, දුක්පත් කෙනකුන් අතපය හෝ ගාපිය හැක්ක, ඊට නුඹ නො සිතා නුඹ කළමනා පිළියම් කරන්නැ”යි කීහ. සිටුදේවීන් තෙල ඉසට නැඟීම හා සමඟ ඉස රුජා අන්තර්ධාන වි ය. මෙතෙක් කථාකරන්නාහු ද රුජාව සන්හුන් බවු දැන සතුටු සතුටුව ම කථා කළහ.

ඉක්බිත්තෙන් සිටු දේවි සිටාණන් මුහුණ බලා “මාගේ හිස රුජා අන්තර්ධාන වි ය, මට පෙර දවස් මෙන් ම ඉස ලඝු විය, මේ සත් හවුරුද්ද මුළුල්ලෙහි නුඹ මට කැරවූ ප්‍රතිකාරයෙන් මෙ බඳු වූ සැපයක් නො ලද්දෙමි, ම පුතණුවන්ට සමාධියක් කරන්නැ” යි කීහ. එ වේලෙහි සියලු පරිවාර ජනයෝ සාධුකාර දුන්හ. ඉක්බිත්තෙන් ජීවකයන්ට සිටාණන්ගෙන් සාරදහසක් හා, සිටුදේවීන්ගෙන් සාරදහසක් හා, පුතණුවන්ගෙන් සාරදහසක් හා, යෙහෙලනියන්ගෙන් සාරදහසක් හා මෙසේ සොළොස් දහසක් නීලකර්ෂාපණ සංඛ්‍යාත වූ රන් දී අසුන් යෙදූ රථයක් හා දාස දාසීන් ගව මහිෂයන් ආදි වූ බොහෝ සම්පත් දුන්හ. අසූ කෙළක් ධන ඇති කුලෙහි සම්පත් මඳකොට දුන්නාහුද? යත්; බැවහාර රනින් විස්සෙක් නම් නීල කර්ෂාපණයෙන් එකෙක් වෙයි, තුන්ලක්ෂ විසිදහසක් මසුරන් දෙන්නාහු ඔවුන් හා කැටිව බොහෝ සම්පත් ගෙනයන පරිවාර ජනයන් මඳහෙයින් මාහැඟි වූ රනින් සොළොස් දහසක් ආදිවූ බොහෝ සම්පත් දුන්හ යි දතයුතු.

ඉක්බිත්තෙන් ජීවකයෝ පළමු වන පිළියමෙහි ම මේ සා සැපතක් ලදින් ඒ සැපත් ගෙන්වා ගෙන ඒ රථයට නැඟී රජගහා නුවරට ගොස් පියාණන් දැක තමන් තක්සලා නුවර ගොස් වෛද්‍යශාස්ත්‍ර ය හදාළ නියාව ත්, සිටුදේවීන්ගේ ආබාධ ය පිළියම් කොට සම්පත් ලද නියාව ත්, යනාදි සරූප කියා “මේ මා ලද පළමු වන සැපත නුඹවහන්සේ මා වැඩි පොසාවනික මිලයට ගෙන වදාළ මැනැවැ”යි කීහ.

අභය රාජකුමාරයෝ එපවත් අසා “තොප මිල නිසා වැඩුයෙම් නො වෙමි, තොප සාලවතී නම් ගණිකාව වැදූ දවස් දමාපු තැන දැක මට තොප දා බවු නොදැනම පුත්‍රස්නේහ උපදවා දරු කොට වැඩීමි, තොප මට දා බවු පසුව දත්මි, එසේ හෙයින් තෙපි මාගේ සහජාත පුත්‍රයහ, තෙල සැපත් තෙපි ම ගන්ව, තව ද මාගෙනු දු සැපත් ගෙන මාගේ රජගෙය සමීපයෙහි ගෙයක් නංවා ගෙන මාළඟ සුවසේ වසව”යි කීහ. එ කල ජීවකයෝ පියාණන් ගේ රජගෙට නුදුරු තෙන ගෙයක් නංවාගෙන වාසය කෙරෙති.

දෙවන වෙදකම

එ කල එ නුවර බිම්බිසාර රජ්ජුරුවන්ට භගන්‍දරාබාධයෙක් ඇත, කලින් කලට පිළක ය පැළී රජ්ජුරුවන්ගේ සළුපට ලෙහෙයෙන් රැඳී යෙයි. බිසෝවරු රජහුගේ සළුපට ලේ දැක “අපගේ දේවයෝ උතුනී වූහ, දරු උපතක් සිටිනා සැටි ය, නොබෝ කලෙකින් දරුකෙනකුන් වදන සේක, දූ දෝ හෝ, පුත් දෝ හෝ, දුවක් වී නම් දඹදිව කවර රජක්හට ශරණ පාවා දෙන සේක් දෝ හෝ, පුතෙක් වී නම් යහපත්මය, මතු මේ නුවර රජ කෙරෙති”යි යනාදීන් කිය කියා එකාවනුව රජ්ජුරුවන්ට වෙහෙසුම් කෙරෙති.

රජ්ජුරුවෝ ලජ්ජා ඇති ව දඹදිව බොහෝ වෙදවරුන් ගෙන්වා නො එක් වාරයෙහි පිළියම් කරවා සාධ්‍යයක් කරවාගත නොහී එක් දවසෙක අභය රාජකුමාරයන් තනි කොට කැඳවා මෙ පවත් කියා “වෙදකෙනකුන්ගේ සේරුවක් කියව”යි කීහ. එ වේලෙහි අභය රාජකුමාරයෝ කියන්නාහු “ස්වාමීනි! මාගේ පුතෙක් ඇත, හේ තෙම වෛද්‍ය ක්‍රියාවෙහි ඉතා දක්ෂය, ඔහු ගෙන්වා වදාළ හොත් යහපතැ”යි කියා ජීවකයන් තමන් වඩාගත් පවතුත් ඔවුන් ශිල්පය උගත් පරිදිත් කල්‍යාණවූ ගුණ ඇති පරිදිත් කීහ. එ වේලෙහි රජ්ජුරුවෝ සමාධි ව “එසේ වී නම් තෙපි ම ඔහු මා කරා කැඳවාගෙන එව”යි කීහ.

අභය රාජකුමාරයෝ එ වේලෙහි තමන්ගේ ගෙට ගොස් ජීවකයන් කැඳවා රජ්ජුරුවන් කී පවත් කියා “රජගෙට මා හා කැටිව එව”යි කීහ. එ වේලෙහි ජීවකයෝ යහපතැ යි ගිවිස ඒ ව්‍යාධියට තරම් වූ ඖෂධයක් භාවිත කොට නියහස්සෙන් සඟවා ගෙන පියාණන් හා කැටිව රජගෙට ගොස් රජ්ජුරුවන් දුටහ. රජ්ජුරුවෝ ජීවකයන් දැක උන්ගේ දර්ශනයෙහි පැහැද ඔවුන් තනි කොට මතුමාලට ගෙන ගොස් තමන්ගේ ව්‍යාධිය දැක්වූහ. එ වේලෙහි ජීවකයෝ ව්‍යාධිය බලා “අද ම සන්හිඳුවා ලමි, දිවි පමණින් මතු ඇතිවියත් නො දෙමි, මාගේ සුරුකම් බලා වදාළ මැනැවැ’’යි වාසි කියාලා නියහස්සෙහි තුබූ ඖෂධය මෑත් කොට පිළකය මතුයෙහි ආලේප කළහ. එ කෙණෙහි ඒ ආලේපය හා සමඟ භගන්‍දරාබාධය සන්හිඳී පිළිකය ඇති වූ තැන කොතන බවත් නොදැනෙන සේ අන්තර්ධාන වි ය.

එ කල රජ්ජුරුවෝ ජීවකයන් කෙරෙහි අතිප්‍රසන්න ව “මේ මට අභ්‍යන්තර ව ආත්මාරක්‍ෂාවට තරම් දෝ හෝ නො තරම් දෝ හෝ තරම් වීනම් අභ්‍යන්තරව රක්‍ෂා කෙරෙමි, නොතරම් වීනම් පිටතම තබා රක්‍ෂා කෙරෙමි”යි සිතා රාජමායමෙකින් ජීවකයන්ගේ තරම් පරීක්ෂා කරන්නාහු පන්සියක් බිසෝවරුන් සර්වාභරණයෙන් සරහා රජගෙයි පිළිවෙළින් සිටුවා බොහෝ දෙනා රැස්කොට ජීවකයන්ගේ ගුණ කියා “බිසෝවරුනි! මෙ තෙක් දවස් මට තෙපි හැමදෙන බොහෝ වෙහෙසුම් කළෝ වේ ද, දැන් ඒ ව්‍යාධි සන්හිඳී ගියේය, මපුතණුවන් ජීවකයන්ට තොප තොප පලන් සියලු පලඳනාවෙන් පුදව’”යි කීහ. එකෙණෙහි පන්සියක් බිසෝවරු තමන් තමන් පලන් දහස් දහස් ගණන් ඝන රන් පලඳනා ගළවා ජීවකයන් පෙරට රැස් කළහ. රුවන් පළඳනා ගොඩ ජීවකයන් උසටත් උස් විය; කළ මිල හා රුවන් කර්‍මාන්ත හැර ඝන රන් ම පස්ලක්ෂයක් පමණ විය. එවේලෙහි රජ්ජුරුවෝ ජීවකයන් මුහුණ බලා “පුත! තෙල රත්නාභරණ තොපට ම දින්මි, හැරගන්ව”යි කීහ.

එ වේලෙහි අභය රාජකුමාරයෝ තමනුත් රජ හෙයින් රජ්ජුරුවන්ගේ අදහස් දැන “මේ පලඳනා මපුතනුවෝ ජීවකයෝ නො ගත්හු නම් යහපතැ”යි සිත සිතා සිටියහ. රජුගේ අදහස් දන්නා අමාත්‍යයෝ ද ඔවුනො’වුන් මුහුණ බලා එසේම සිත සිතා සිටියහ. ජීවකයෝ ද තුමූ ඔවුන් හැමටත් වඩා තමන් මහ නුවණැ’ති හෙයින් ඒ කාරණය දැන “දෙවයන් වහන්ස! මේ සැපතින් මට කම් නැත, බිසෝවරුන් වහන්සේ අත කර ලූ පළඳනා මා වැනියන්ට සුදුසු නො වෙයි, නුඹ වහන්සේගෙන් කරුණා සම්පත් දෙවා වදාළ මැනැව”යි කියා නො ඉවසූහ. එ වේලෙහි රජ්ජුරුවෝ ද “උත්තම පුරුෂයෙකැ”යි ජීවකයන් කෙරේ ඉතා පැහැද එ පළඳනා නැවත බිසෝවරුන්ට ම පාවා දී ජීවකයන්ට හවුරුදුපතා ලක්‍ෂයක් නිමන නිමන නියම් ගමක් හා පවුරු පදනමින් සුරක්‍ෂිත වූ අඹ උයනක් හා සිය ගණන් පරිවාර ජනයන් හා, සත්බුමු මහපායක් ආදි වූ බොහෝ සම්පත් දී තමන් ඇතුළු වූ අන්තඃපුරයට හා බුදුන් ඇතුළු වූ මහා සංඝයාට පිළියම් කරන සේ ස්ථානාන්තර දී තමන්ට අභ්‍යන්තර කොට රක්‍ෂා කෙරෙති.

තුන්වන වෙදකම

තව ද එම රජගහා නුවර අසූ කෙළක් ධන ඇති සිටාණ කෙනකුන්ට ද ශීර්ෂාබාධයක් ඇති ව ඉස්මුල් සැත් ලලා ලියා හරනා සේ මහත් වූ වේදනා ඉපැද මරණප්‍රාප්ත වූහ. ආචාරිවරයෝ දෙදෙනෙක් අවුත් සිටාණන් බලා නිදන් දැක ව්‍යාධි ය අසාධ්‍ය නියාවත් සිටාණන් නො රැකෙන නියාව ත් දැක එක් කෙනෙක් “සිටාණෝ පස්දවසෙකින් මියෙති, පිළියමින් කම් නැතැ”යි කියා ගියහ. එක්කෙනෙක් “සත් දවසෙකින් මියෙති, මෙ ලොවට පිළියම් නො කරවා පරලොවට ප්‍රතිකාරයක් කොට ගන්ව”යි කියා ගියහ. එ පවත් බිම්බිසාර රජ්ජුරුවෝ අසා ඉතා මහත් වූ කම්පා ඇති ව “මාගේ නුවර නැඟූ ධ්වජයක් සේ ඉතා ප්‍රසිද්ධ වූ සිටාණෝ මළාහු නම් මට මහත් වූ හානි වන්නේය”යි සිතා ජීවකයන් කැඳවා ‘‘පුත ජවකයෙනි! මාගේ අසවල් සිටාණන් රැක දීලව”යි කියා ජීවකයන් යවූහ.

එ කල ජීවකයෝ ගොස් සිටාණන්ගේ අවස්ථා දැක පෙර ආචාරිවරුන් දෙදෙනා කියා ගිය පවතුත් අසා තුමූ ද පරීක්‍ෂා කොට දිවසින් දුටුවා සේ දැක ‘‘ඔවුන් කීයේ සැබැව, නුඹ ඉස මත්‍ථලුඞ්ගභෝජක නම් පණුවෝ දෙදෙනෙක් අටගත්හ, එයින් එකෙක් මහත, එකෙක් කුඩා වුව, මහත් පණු නුඹ හිස්මුල් පස් දවසෙකින් කා නිමයි, කුඩා පණු සත්දවසෙකින් කා නිමයි, ඔහු දෙදෙන ම තමන් තමන්ගේ ශාස්ත්‍රයෙන් පණුවන් දෙදෙනා වෙන වෙන ම දුටහ. මහ පණුවා දුටු ආචාරි කුඩා පණුවා නුදුටුවහ; කුඩා පණුවා දුටු ආචාරි මහ පණුවා නුදුටුවහ, මම දෙදෙනාම දිටිමි. එසේ හෙයින් සත් දවසත් නො වෙයි, පස් දවසත් නො වෙයි, තුන් දවසක් ඇතුළත මරණ වෙයි. මේ ලෝකයෙහි මා විනා නුඹ දිවි රැක දී දිලියහෙන අන් සතෙක් නැතැ”යි කීහ.

එ බසට සිටාණෝ නැවත ද මරණ භයින් වෙවුලා “පුතණුවෙනි! මාගේ දිවි රැකදීලුයේ වී නම් මාගේ මේ සියලු අසූ කෙළක් පමණ සිටු සැපතත් දෙමි, මම ද නුඹට ම ගැති වෙමි” යි කීහ. එ වේලෙහි ජීවකයෝ “එසේ නො වදාළ මනැවැ, මම නුඹවහන්සේට ගැති නොවෙම්දැ”යි කියා භය නො ගත මැනැව, මා කීවකට ලැබුණේ නම් නුඹ දිවි රැක දී ලමි” යි කීහ. එ වේලෙහි සිටාණෝ සන්තෝෂ ව “නුඹ කී යම් ම දෙයකට ලැබෙමි”යි කීහ. ජීවකයෝ සිතන්නාහු “මුන්ට ගරුකොට කියා ලඝු කොට ගොඩ නඟමි”යි සිතා “මා කී දෙයකට ලැබෙන සේක් වී නම් රැකලමි, කෙසේද? යත්; උඩුතැල්ලා ම සත් මසක් මුළුල්ලෙහි නො සෙල්වී ම වැද හොත මැනැව, එසේ ම දකුණැළයෙන් සත් මසක් වැද හොත මැනැව, වමැළයෙනු දු සත් මසක් නො සෙල්වී ම හොත මැනැව, එසේ පිළිවන් දැ”යි විචාළහ. සිටාණෝ ජීවිතාසාවෙන් නො කළ හැකි දෙයක් නියාව සිහි එළවාගත නොහී පිළිවනැයි ප්‍රතිඥා දුන්හ. එවේලෙහි ජීවකයෝ සිටාණන් වහන්ස! වෙදවරු නම් නිග්‍රහ කොට දරුවන්ට දුක් දී හික්මවා මතු සුව දෙන්නා වූ මවුන් පියන් ගුරුන් වැනියහ, එසේ හෙයින් නුඹට ද කිසියම් පීඩාවක් කොට මුත් ගොඩනඟා ලිය නො හැක්කැ මා කරන යම් නිග්‍රහයෙක් ඇත්නම් මා කෙරෙහි ද්වේෂයක් නූඋපදවමි යි කියා ත්, පවු නැතැ යි කියා ත්, වර දුන මැනැවැ”යි කීහ. සිටාණෝ “නුඹ කරන යම්ම දෙයකට ද්වේෂයක් නො කෙරෙමි යි, පවු නැතැ”යි වරදුන්හ.

එ වේලෙහි ජීවකයෝ සිටාණන් ඇඳෙක උඩුබලා වැදහොවා සියලඟ නො සැලෙන සේ ඇඳ හා එක් කොට පටපිළියෙන් වෙළා සිටාණන් ඉස්දොර වැද හිඳ සූක්ෂ්ම වූ සැතක් ගෙන සිටාණන් ඉස්බොල්ල පළා තුන්සන්ධිය වෙන්කොට හිස්මුල් කන පණුවන් දෙදෙනා සැත්තුඩින් ගෙන එළියේ ලූහ; එළියේ ලා “මේ සත්දවසින් කා මරණ පණු ය, මේ පස් දවසින් කා මරණ පණුය”යි කියා පෑහ. ඒ විස්මය දුටු මහ පිරිස එකවිට ම සාධුකාර දුන්හ. එ වේලෙහි ජීවකයෝ සිටාණන් හිස්බොල්ල පෙර සේ ම සන්‍ධිකොට ලොම කුත් අඩුවැඩි නො කොට තබා බැහැනි ගෙන ඖෂධ ගල්වා සිටාණන් සත්දවසක් එම ශය්‍යාවෙන් සතපා, දකුණැළයෙන් සත්දවසක් සතපා, වමැළයෙන් සත්දවසක් සතපා පෙර එක්විසි මසකට නියම කරවා ගත් පිළියෙම එක්විසි දවසින් ගොඩනඟා සිටාණන් හිස්මුල් අටගන්වා පෑළූ තෙන නොපෙනෙන සේ වණය සුව කළහ.

එ කල සිටාණෝ අරොගි වූවාහු ජීවකයන් කෙරෙහි පැහැද “සියලු සිටු සැපත හා මාත් නුඹට පාවා ගන්නැ”යි කීහ. ජීවකයෝ “එසේ වූ බස් නො වදාළ මැනැව, මෙ තැන් පටන් නුඹවහන්සේද මාගේ පියාණන් වහන්සේමය”යි කියා සිටාණන් හා නෑ ව “මා සන්තක වූ මේ සියලු සැපත නුඹවහන්සේට ම දින්මි”යි සිටාණන්ට ම හැර රජ්ජුරුවන්ට ලක්‍ෂයෙක තමන්ට ලක්‍ෂයෙකැයි දෙලක්‍ෂයක් සම්පත් හා ගව මහිෂාදි කැමැති පමණ සැපත් ගෙන ගොස් නුවර වැද රජ්ජුරුවන්ට ගෙන ගිය ලක්‍ෂයක පඬුරු කොට දී, තුමූ සෙසු සම්පත් අනුභව කොට එම නුවර වෙසෙති. එ තැන් පටන් ජීවකයෝ මුළු දඹදිව නැඟූ ධජයක් සේ ඉතා ප්‍රසිද්ධ වූහ.

සිවුවන වෙදකම

තව ද බරණැස අනික් සිටු පුත්‍රයාණ කෙනකුනට ද අන්තරගණ්ඨි නම් ආබාධයෙක් ඇති විය. කෙසේ වූ ආබාධයෙක් ද යත්? ඒ සිටාණන් තරුණ කල කරණම් පැන ක්‍රීඩාවක් කරණ දවසෙක බඩවැල උඩට නැඟී මධ්‍යයෙහිදී ගැටගැසී ගිය. ඒ කාරණයෙන් සිටාණන් අනුභවකළ යම්දෙයක් බඩවැලින් මල මාර්‍ගයට යා නො හැකි පාකයට ත් නො යෙයි, මලමූත්‍රයෙක් තමාම නැත, එක් වේලෙක අනුභව කළ දෙය එක් වේලෙක නඟා පියා ජීවිත ය රක්ෂා කෙරෙති. එ කල සිටාණෝ ශුෂ්ක කාෂ්ඨයක් සේ වියලී දවසින් දවස බැහැර පඬුවන් ව ගියහ, තෙල්පතක් වැළැන්දා සේ සර්වාඞ්ගයෙහි ධමනි පෙනෙන්නට පටන්ගත. එ පවත් අසා දඹදිව බොහෝ වෙදවරු අවුත් අවස්ථා නො දැන විස්මය ප්‍රතිකාර කොට සමනයක් කොටගත නොහී යන්නාහු ම ය. සිටාණන්ගේ ගෙට අපි අපි ය යි වාසි කිය කියා මුළු බැඳ එන වෛද්‍යාචාරීන් විසින් හා පිළියම් කොට සමනය කොට ගතනොහී “අපට බැරිය, අපට බැරිය”යි කියා ආපස්සේ යන වෙදවරුන් විසින් හා උන්ගේ වාසල් දොර අතුරු නැතියේය.

ඒ සිටාණන් පියාණෝ, බාරණසෙය්‍යක නම් සිටාණෝ ජීවකයන්ගේ පවත් අසා රජගහ නුවරට ගොස් බිම්බිසාර රජ්ජුරුවන් දැක නො එක් සතුටු පඬුරු දී රජහු සන්තෝෂ කරවා පුතණුවන්ගේ ව්‍යාධියෙහි පවත් කියා ජීවකයන් ඉල්වූහ. එ වේලෙහි රජ්ජුරුවෝ ද ජීවකයන් කැඳවා සිටාණන් ආ පවත් කියා “සිටාණන් හා කැටිව ගොස් උන් පුතණුවන් බලා එව”යි කියා සිටාණන් හා කැටිව ම ජීවකයන් යවූහ. ජීවකයෝ ද බරණැස් නුවර ගොස් ව්‍යාධිගත වූ සිටාණන් දැක ඒ ව්‍යාධියෙහි ද නිදන් බලා දිවසින් දුටුවාසේ ම දැක “සිටාණන් වහන්ස! නුඹවහන්සේගේ බඩ ගැට ගෙන තිබෙන ගුණයෙක් ඇද්දැ” යි විචාළහ; එ බඳු වූ ගුණයෙක් ඇතැ යි කීහ. ක්‍රීඩාවක් කළ දවසෙක සිට ඒ ගුණ ය ඇති වී දැ යි විචාළහ.

එසේම යයි කීහ; මල-මූත්‍ර නැද්දැ යි විචාළහ; නැතැ යි කීහ; අධොවාත නැද්දැ යි විචාළහ; නැතැ යි කීහ, එසේ වී නම් නුඹ බඩ අන්තරගණ්ඨි නම් ආබාධයෙක, නුඹ බඩවැල මැදින් ගැටගැසීගියේය, ඒ සන්හිඳුවා දීලමි, භය නො කළ මැනැවැ යි අස්වසාලා සිටු දේවීන් පමණක් සිටුවා සෙසු ජනයන් පිටත්කොට අගුළු ගෙන සිටාණන් යටිමාලෙහි මැද, කප නො සැලෙන සේ බැඳ සිටුවා සිටාණන් මුහුණ වසා පටපිළියක් බැඳ, සූක්‍ෂ්ම වූ සැතක් ගෙන සිටාණන්ට නොදැනෙන සේ බඩෙහි මතු සම පළා බඩවැල පිටත්කොට සිටුදේවීන්ට ගැට ගැසීගිය තැන් පෑ ගැට උනා හැර, නැවත බඩවැල ඇතුළෙහි ලා බැහැනි ගෙන ඖෂධ ගල්වා සිටාණන් ස්තම්භයෙන් උනා යානෙහි සතපා රස උළුකැන් පොවා තුන්දවසින් ගොඩනැඟූහ. සිටාණෝද එ තැන් පටන් පෙර සේ ම නිරෝගි වූවාහු. ජීවකයන් හා යහළුව උන් කෙරෙහි මහත් වූ පෙම් බැඳ සොළොස් දහසක් මසුරන් හා අසුන් යෙදූ රථ දැසි දස් ගව මහිෂාදි බොහෝ සම්පත් දී සනුමානයෙන් යවූහ. ජීවකයෝ ද මහ පෙරහරින් රජගහා නුවරට වැද රජ්ජුරුවන් දැක තමන් කළ පිළියම් කීහ. රජ්ජුරුවෝ ද ඉතා විස්මය වූවාහු ජීවකයන්ට නො එක් සම්පත් දුන්හ.

එ තැන් පටන් ජීවකයන්ගේ පවත් ඇසු ඇසූ දඹදිව බොහෝ වූ ශ්‍රීවන්තයෝ “එසේ එසේ වූ ව්‍යාධියෙක් අපටද වී නමුත් උන් හා විශ්වාස ව ඉඳුම්හ” යි නො එක් සතුටු පඬුරු ගෙන ජීවකයන් කරා එන ශ්‍රීවන්තයෝ මෙ තෙකැ යි පමණ නැත. තමන් කරා ගෙන්වා ගත නොහී ජීවකයන් කරා එන ව්‍යාධිගත සත්ත්වයන්ගෙන් උන්ගේ දොර අතුරු නැතියේ ය. එන කල මහහඬින් හඬ හඬා නො එක් ව්‍යාධියෙන් පෙළි පෙළී අවුත් ජීවකයන් දැක දිව්‍ය ඖෂධ ලදින් අමාදිය ලදුවන්සේ ව්‍යාධි අන්තර්ධානව නිරෝගි ශරීර ලදින් ජීවකයන්ට සාධුකාර දිදී සන්තෝෂයෙන් මත් ව තමන් තමන්ගේ සියනුවරට යන්නාවූ සත්ත්‍වයන්ගෙනුදු එ නුවර අතුරු නැතියේ ය. බුදුන්ට පිළියම් කෙරෙමි යි කප්ලක්‍ෂයක් පැරුම්පුරා ආ කෘතාධිකාර පුරුෂයාණන් හෙයිනුත් බුදුන් නිසා ම ඔවුන් ඇති වූ හෙයිනුත්, මේ සා මහත් වූ සත්ත්‍ව ශාන්තියකුදු මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් නිසා ම ලොවට පහළ වී ය. එසේ හෙයින් මෙයිදු මාගේ බුදුන්ගේ ම පෙළහරෙක් ම ය.

චණ්ඩපජ්ජොත රජුට කළ පිළියම

මෙසේ ඒ ජීවකයන් දඹදිව දිව්‍යද්‍රැමයක් සේ ප්‍රසිද්ධවූ සමයෙහිම උදේනි නුවර චණ්ඩ ප්‍රද්‍යොත නම් රජහටද පාණ්ඩු රොගයෙකින් ආබාධයෙක් වි ය. ඒ රජ්ජුරුවෝ ද නො එක් පිළියම් කරවා සාධ්‍යයක් නො ලදින් ජීවකයන්ගේ පවත් අසා නො එක් රජ පඬුරු දී බිම්බිසාර රජ්ජුරුවන් කරා දූතයන් නො එක් වාරයෙහි එවති. රජ්ජුරුවන් යව යි කී කල ඒ රජුගේ පවත් ආදි ම තමන් අසා දන්නා හෙයින් “ඔහුගේ ව්‍යාධි සන්හිඳුවාලීම පිළිවන් නොවන්නේය”යි කියා ජීවකයෝද නො එක් වාරයෙහි ප්‍රතික්ෂෙප කොට නො යෙති. කාරණ කිම? යත්;

ඒ රජ්ජුරුවෝ තුමූ තෙලෙහි ප්‍රතික්කූල ඇතියහ, කිසි යම් තෛල ජාතියක් ඇඟ ද නො ගාවති, අනුභව ද නො කෙරෙති, තෙල්වැටපහනු දු නො බලති, මලකඩ පහන් රජගෙහි නංවති, තෙලෙහි නම කීවන්ට ක්‍රෝධ කෙරෙති. තෙලෙහි කුමක් නිසා ප්‍රතික්කූල ඇතියාහු ද යත්; ඒ රජ්ජුරුවෝ ගෝනුස්සක්හට දා වූහ. කෙසේ දා වූ ද යත්? ඒ රජ්ජුරුවන්ගේ මෑණියන්ගේ පූර්‍ව ජන්මයෙහි වල්ලභයා බිසොවුන් කෙරේ සිත් තබා මිය අහේතුක ප්‍රතිසන්‍ධියෙහි ගෝනුසු ව ඉපැද එම රජගෙයි බිසවුන්ගේ ශ්‍රී යානය යට වාසය කෙරෙයි. එක් දවසෙක බිසොවුන් උතුනී ව නහා මල් සුවඳ පැලඳ යානේ වැදහොත් කල්හි ගෝනුසුහු බිසොවුන් කෙරෙහි ප්‍රේම දරාගත නො හෙනුයේ “රජහට පළමු මම මෑ හා ආස්වාදයක් කෙරෙමි”යි යානට නැඟී බිසොවුන් නාභියෙහි පරාමර්ශනය කෙළේය, එවේලෙහි නාභිපරාමර්ශනය හා සමග ම බිසොවුන්ට ද රතිචලන ය විය. මවගේ උතුනී භාවයක් හා එක්තරා එක් ආකාරයෙකින් කාමයන්ගේ චලන ය වීමක් හා සත්ත්වයක්හුගේ ඉපදීමක් හා, මේ තුන්දෙනාගේ සමාගමයෙන්ම දරු ගබක් හටගන්නා හෙයින්, එ වේලෙහි රජ්ජුරුවෝ ද ගෝනුස්සාට දාව පිළිසිඳ ගත්හ, මේ කාරණයෙන් ඒ රජ්ජුරුවෝ ද විච්ඡිකයන්ගේ වර්ණ ඇතියහ, විච්ඡිකයන් සේම නිර්ගුණියහ. ඉතා ම චණ්ඩයහ, එසේ හෙයින් චණ්ඩප්‍රද්‍යොත යයි නම් ලදහ. ගෝනුස්සන්ට තෙල් ජාති නම් විෂ හෙයින් ඒ රජ්ජුරුවන්ට ද තෙල් ජාති විෂ හා සමානය, මේ කාරණ දැන “තෙලක් වළඳවා මුත් විරේකයක් කවා මුත් පාණ්ඩු රෝග ය සන්හිඳුවා ලිය නො හැක්කැ” යි කියා පිළියමට නො යෙති.

නැවත ද බිම්බිසාර රජ්ජුරුවන් කරා පඬුරු හා දූතයන් යැවූහ. එකල රජ්ජුරුවෝ ජීවකයන් කැඳවා “පුත! චණ්ඩප්‍රද්‍යොත රජ්ජුරුවෝ මා හා අති විශ්වාසී ය, මේ වාරයෙහි උත්තර නො කියා ගොස් උන් කීවාට වැනිව උන් බලාපියා වී නමුත් එව”යි කියා ජීවකයන් යවූහ. එ කල ජීවකයෝ උදේනි නුවර ගොස් රජ්ජුරුවන් දැක අවස්ථා බලා මායමකින් බෙහෙත් තෙලක් පොවා මේ රජහුගේ ජීවිතය රැක දෙමි” යි සිතා “මා වැනි වෙදක්හු ඇස පෙනී ගිය ව්‍යාධිගත රජක් නැසී යාම සුදුස්සෙක් නො වෙයි, එසේ ද වුවත් මේ රජ චණ්ඩය, කාරණාකාරණ පරීක්ෂා නොකෙරෙයි, තෙල් පෙවූවිටම ක්‍රෝධයෙන් මා මරවයි. මායමකින් තෙල් පොවා මොහුගේ ද මාගේ ද ජීවිත රක්ෂා කළ මනා වේ දැ”යි සිතා දේවයන් වහන්ස! මේ ව්‍යාධිය සන්හිඳුවා ලමි, කිසි භයක් නො කළ මැනැව, බල එකෙක් ඇත. වෙදවරු නම් ඖෂධයට ලෝභියහ. අනුන් ලවා බෙහෙත් නො ගන්වති, ඒ ඒ යෝගයෙහි ඒ ඒ ඖෂධයන් තුමු තුමූ ම ස්වහස්තයෙන් ගන්නාහු ය, එසේ හෙයින් මා ත් නුඹගේ මේ නුවර කැමැති වාහනයක් නැඟී කැමැති වාසලකින් කැමැති යම් වේලෙක මා සිත්සේ ම යන එන සේ රකවල් හළ මැනැවැ”යි කීහ.

ඒ චණ්ඩප්‍රද්‍යොත රජ්ජුරුවන්ගේ අනර්ඝ වූ දිව්‍යසමාන වූ වාහන පසෙක් ඇත. කෙසේ වූ වාහන පසෙක් ද යත්? භද්‍රවතී නම් ඇතින්නක් දවසක් ඇතුළත පනස් යොදුන් ගොස් පනස් යොදුන් එන පමණ ගමන් ඇත්තී ය. දෙවියන් විසින් මැවූ ඔපපාතික වූ කාක නම් දාවායෙක් දවස සැට යොදනක් ගොස් සැට යොදනක් එයි. නාලාගිරි නම් ඇතෙක් සියක් යොදුන් ගොස් සියක් යොදුන් එයි. මුඤ්ජකෙශී නම් වෙළඹක හා තෙලකර්ණ නම් අශ්වයකු හා දෙදෙන එක්සිය විසි යොදුන් ගොස් එක්සිය විසි යොදුන් එන්නාහ. මුළු දඹදිව මෙසේ වූ පඤ්ච මහා වාහන ඇති එක රජෙකුත් නැත. ඒ කෙසේ වූ පින් බලයෙකින් ලද්දාහු ද? යත්;

ඒ රජ්ජුරුවෝ ගිය දවස දිළිඳු වූ කුලයෙක ඉපැද අනුන් විසින් දන්දෙන ලද බත්පාත්‍රයක් සමසිතින් තමන් කර තබා ගෙන වහ වහා දිවගොස් වේලා නොවරදවා පසේබුදු කෙනකුන් වහන්සේට පිළිගන්වා තමන් අතින් දැවැටි පැන් පෙරාදී වළඳවා “ස්වාමිනි! නුඹ උදෙසා අද මා විසින් කළ කාය වෙය්‍යාවතෙහි අනුසසින් මතු මෙසේ වූ දුඃඛිත කුලයෙක නූපදිම්වයි, රජකුලෙහි උපදිම්ව යි, මේ බත්පාත්‍රය ඉසිළූ පිනින් මතු මා උසුළන ශීඝ්‍ර වාහන ලබම්ව”යි ප්‍රාර්ථනා කළහ. එ වේලෙහි පසේ බුදුන් වහන්සේ ද ඕහට මතු වන වැඩ දැක:-

ඉච්ඡිතං පත්‍ථිතං තුය්හං - ඛිප්පමෙව සමීක්ධතු

පූරෙන්තු චිත්තසංකප්පා – චන්‍දො පණ්ණරසො යථා-යි

යනාදීන් බණ වදාරා වැඩි සේක. පෙර කළ එබඳු වූ කුසලයෙකින් මෙබඳු වූ රජකුලෙහි ඉපැද පඤ්චමහා වාහනාධිපතී වූහ යි දත යුතු.

එ වේලෙහි රජ්ජුරුවෝ ජීවකයන් කී පවත් අසා “මාගේ මේ වාහන පසින් තොප කැමැති යම් වාහනයක් නැඟී කැමැති වාසලකින් කැමැති වේලාවක, සිත් සේ ඇවිදුව”යි රකවල් අළහ. එ කල ජීවකයෝ ද කීප දවසක් එයින් කැමැති කැමැති වාහන නැඟී ඒ ඒ වාසලින් වේලෙහි නො වේලෙහි ඔබමොබ ඇවිද නුවරවාසීන් හා රජ්ජුරුවන් තමන් කෙරෙහි සැක හරවාගෙන එක් දවසක් නො එක් ඖෂධ භාවිත කොට බෙහෙත් තෙලක් කකාරා රන්තැටියෙන් ගෙන “දේවයෙනි! මේ බලවත් වූ කෂායෙක, බැලිය නො හැක්ක, හිම්බ නො දැක්ක, එසේ කළෝතින් ඖෂධයෙහි වීර්‍ය්‍ය මඳ වෙයි, එසේ හෙයින් ඇස පියාගත මැනැවැ” යි කියාලා රජ්ජුරුවන් ඇස පියාගත් කල්හි “රස නො බලා එක සුස්මෙන් පුව මැනැවැ”යි බෙහෙත් අතට දුන්හ. රජ්ජුරුවෝ ද එක අතෙකින් නාසය මැඩ අල්වාගෙන බෙහෙත් මුඛයට දිගු කළහ.

එ කෙණෙහි ජීවකයෝ එ තැනින් පහව “මෙසේ මෙසේ වූ වෙද බත් වෙදමාලුයෙන් රජ්ජුරුවන්ට ප්‍රතිකාර කරව”යි අභ්‍යන්තරයන්ට කියාලා ඇත්හලට දිව ගොස් භද්‍රවතී නම් ඇතින්න නැඟී නුවරින් පිටත්ව සුළං වේගයෙන් රජගහා නුවර දිසාවට දිවන්නාහු දහවල් බතට පනස් යොදුනක් ගොස් කොසැඹෑ නුවර ශාලාවට වැද ඇතින්න සැත් උනා සැතපී හිඳ “රජුගේ පනස් යොදනක් මේ ඇසිල්ලෙහි මා හඹා අවුත් අල්වා ගන්නා තරම් සේනාවෙක් නැත, එව ත් නම් දාවායා එවති, ඇතු එවති, අසු එවති, වෙළඹ එවති, මා ඇඟ ඇතුන් පස්දෙනකුට බල ඇති හෙයින් ඔහු මා නො කැමති කරවා ගෙන යා නොහෙති. ආ කෙනෙක් ඇත් නම් රජුගේ ඇතින්න පාවාදී යවමි”යි සිත සිතා මඟ බල බලා “දහවල් බත් මෙතැනදී කමි”යි සිත සිතා උන්හ.

එවේලෙහි රජ්ජුරුවෝ බෙහෙත් තෙල එක හුස්මෙන් බී තැල්ලක් නඟා තෙල් බවු දැන ජීවකයන් කෙරෙහි ඉතා මහත් වූ ක්‍රෝධ කොට සුළං දුටු ගිනිකඳක් සේ කිපී “ජීවක යා මා විෂ තෙල් පොවාපීය, දැන්දක් මියෙමි, මා සතුරා ගෙන උල අන්ව”යි නියෝග කෙළේය. එකෙණෙහි රජහුගේ ආමාත්‍යයෝ ජීවකයන් බලා නො දැක “භද්‍රවතිය නැඟී පලා ගියේ ය”යි අසා අවුත් “දේවයෙනි! ජීවකයා පලා ගියේ වේ ද, තෙමේ මතු නොවෙයි. නුඹගේ භද්‍රවතී නම් ඇතින්න ද හැරගෙන ගියේ වේ දැ”යි කීහ. එ වෙලෙහි රජ්ජුරුවෝ නැවත කිපී කාක නම් දාවායා කැඳවා, “කොල! දිව ගොස් ජීවකයාත් මාගේ ඇතින්නත් වහා ම ගෙනවුත් පෑල” යි කියා නියෝග කොට නැවත “ජීවකයා නම් සොර, මහත් වූ මායම් දන්ති, තා සලා මරාපියත් පොහොසත, ඔහු දුන් දෙයක් නො ක”යි උගන්වා යවූහ.

එ කෙණෙහි දාවයා පනස් යොදනක් දිව ගොස් කොසඹෑ නුවර ශාලාවෙහි උන් ජීවකයන් දැක “නුඹ නො හැර ගෙන යන්ට රජ්ජුරුවෝ කීහ, ආපස්සෙහි නික්මුණ මැනැවැ”යි කී ය. ජීවකයෝ ද එ වේලෙහි තමන් බල ඇති නියාව ත්, නො කැමැති කරවා ගෙන යා නොහෙන නියාවත් නො හඟවා “එබැවින් යහළුව මා බඩසා ය, මා බත් කා පියන තෙක් මඳක් බලව”යි කියාලා ඔහු අස්වසා බත් කන්නාහු “තෙපි ද බත් කව”යි කීහ. දාවයා තෙමේ රජහු කී බස් සිහි කොට “මම බත් නො කමි”යි කී ය. ජීවකයෝ ඔහු සිතැ සොරකම ද දැන, “තොප සයින් ඉන්දදී මම බත් කෙසේ කම් ද, බත් නො කන බැවින් මේ ඇඹුලපක අනුභව කොට පැන් බොව”යි කියාලා ඇඹුලපක නිය අගින් බෙහෙදක් ඔබා දුන්හ. හේතෙම ඒ සොරකම නො දැන ඇඹුලයෙන් අර්ධයක් කා මුර්ඡාවිය. තුබු අර්ධය බිම හෙළා තෙමේද බිම හී ජීවකයන් ගෙන යන්නා තබා තෙමේ තමා බවු නො දන්ති.

එ කල ජීවකයෝ සුවසේ ඉඳ බත් කා විඩා ත් නිවාගෙන ඇතින්නද පැන් පොවා ඇගේද විඩා සන්හිඳුවා දාවයා කරා ගොස් “දරුව වැළි අප හැරගෙන නො යාදැයි” කීහ. එවේලෙහි දාවයා ඇස දල්වා ජීවකයන් බලා දොහොත් මුදුනෙහි තබා “හිමි නුඹගෙන යන්නා තබා මම මා ගෙන යා නො හෙමි, මා වැනි දාවයෙක් මේ මුළු දඹදිවු තෙලෙහි නැත. මා වැනියක්හු නොමරා දිවිරැක වදාළ මැනැව, බල නුඹ කැමැත හොත් නුඹ හා කැටිව යෙමි” යි කීය. එවේලෙහි ජීවකයෝ සිනා සී “භය නොකර, තා මිය යා නො දෙමි”යි ඔහු අස්වසා අනික් ඇඹුලපකක් ගෙන අනික් නිය අකින් ඖෂධයක් ඔබා “තෙලේ කා බලගැ”යි දුන්හ.

හේතෙමේ එයි ත් භය ඇති ව ජීවකයන් මුහුණ බලා “ස්වාමිනි, ආදි කෑ ඇඹුලපලින් ඉස ඔසවා ගත නො හෙමි, මෙ විට සැකයෙයින් ම පණ පලායන උපදෙසෙක් දැ යි භය ඇතියෙමි”යි කීය. ජීවකයෝ මා උපන් දවස් පටන් අද දක්වා ලෙහෙඬිල්ලකත් නො බින්දෙමි. මාගේ ප්‍රාණය නසත් නමුත් අනික් ප්‍රාණයක් නො නසමි භය නො කොට කා බලගැ”යි කීහ.

හේ තෙම ඒ ඇඹුල ය අනුභව කොට අමාදියෙහි ගැලුවා සේ ස්වප්නයෙන් දුටු දෙයක් සේ, කිසි පීඩාවකුත් නැති ව පැනනැඟී සිනා සිසී “මට කිසි නුසුවයෙකුත් නැත ස්වාමිනි”යි කී ය. එ වේලෙහි ජීවකයෝ “තෝ මතු නො වෙයි. තාගේ රජ ද මෙතෙකට ගොඩ නැංගේම ය. අද පටන් ඔබහට ද කිසිවක් ලෙඩ නැත, ඔහු කරා මම නො යෙමි, කීප දවසක් ගිය කල මාගේ අරුම තාගේ රජහට ම දැනෙති. ඕහට ද එපවත් කියාල”යි උගන්වා ඇතින්න ද ඕහටම පාවා දී, ඔහු ආපස්සෙහි යවා, එකලාවම රජගහා නුවරට ගොස් රජ්ජුරුවන් දැක තමන් පිළියම් කළ පරිදි ත්, ගැළවුණු උපදෙසු ත්, රජ්ජුරුවන්ට කී ය. රජ්ජුරුවෝ එ පවත් අසා “තොප ගැළවී ගියේ .යෙහෙකැ”යි කියා තමන්ගෙන් ජීවකයන්ට ප්‍රසාද දුන්හ.

මෙසේ ජීවකයන් එ නුවර වසන කල මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ද කිසියම් ආබාධයෙක් වි ය. එ කල ස්වාමිදරුවෝ “ජීවකයා ද කොට ආ ප්‍රාර්ථනාව සිද්ධ කොට ඔහු ප්‍රසිද්ධ කෙරෙමි” සිතා ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්‍දය! බුද්ධකායට ද කිසි යම් ආබාධයෙක් ඇත, විරෙචනයෙක් වී නම් යහපතැ”යි වදාළ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ද බුදුන්ගේ අදහස් දැන ජීවකයන් කැඳවා “බුදුන්ට කිසියම් ආබාධයෙක් ඇත, විරෙචනයක් කොට බලව”යි කී සේක.

එ කල ජීවකයෝ “මාගේ ස්වාමිදරුවෝ මාගේ අභිමත ය සිද්ධ කරණ සේක් වනැ”යි ඉතා සන්තෝෂ වූවාහු නුවරට ගොස් “අද බුදුන්ට විරේක කරවමි”යි රජ්ජුරුවන් ආදි වූ ශ්‍රද්ධාවන්තයන්ට කියාලා වෙහෙරට අවුදින් මහනෙල් මල් තුනක් ගෙන එහි නොඑක් ඖෂධයන් ගල්වා බුදුන් ශ්‍රී හස්තයට දී “ස්වාමිනි! මේ පළමුවන මල එක්වාරයක් ආඝ්‍රාණය කළ කල දශවාරයක් විරේක ව ශරීරයෙහි උග්‍ර වූ දෝෂ පලා යෙයි. දෙවන මහනෙල් මල ආඝ්‍රාණය කළ කල ද දශවාරයක් විරේක ව මධ්‍යම වූ දෝෂ යෙයි, පසු ව තුන්වන මහනෙල්මල ආඝ්‍රාණය කළ කල ද දශ වාරයක් විරෙක ව සියුම් වූ දෝෂ පලා යෙයි” කියා මහනෙල්මල් තුන බුදුන් ශ්‍රී හස්තයට පිළිගන්වා “බෙහෙත් පිණිස ඉඹ වදාළ මැනැවැ” යි කප්පිය වචනයෙන් ආරාධනා කොට ආඝ්‍රාණය කරවා සමතිස් වාරයක් විරේක කරවා බුදුන්ට ද අද්භූතවූ පිළියම් කළහ. එදවස් “බුදුන්ට විරේකයක් කළහ”යි අසා “අද බුදුන්ට ස්නේහ භෝජනයක් අප අපගෙන් දෙම්හ”යි අටළොස් කෙළක් පමණ කුලෙහි ශ්‍රද්ධාවන්තයෝ තමන් තමන්ගේ බලානුරූප වූ පරිද්දෙන් මහ දන් වතුරු කළහ.

සෝණ සිටානෝ

එ වේලෙහි ආයුෂ්මත් වූ මුගලන් මහ තෙරුන් වහන්සේ “බුද්ධකාය නම් ඉතා සුඛුමාලය. සමතිස් විරෙචනයෙකින් අති පිරිසුදු වූ කයට රූක්‍ෂ වූ භොජනයෙක් සුදුසු නො වන්නේ ය. මෙ තෙක් දෙනාගේ භෝජනයෙන් මාගේ බුදුන්ට තරම් වූ භෝජනයෙක් නැත. අප වැනියන් නිවන් අමා වැළඳවූ බුදුන්ට කෙසේවූ භෝජනයක් ගෙනෙම්දෝ හෝ”යි දිවසින් බලා “මුළු දඹදිවු තෙලෙහි රජ සිටු බමුණු වෙළෙඳ ශ්‍රීවන්ත වූ චාතුර්‍වර්ණයන් අතුරෙන් කවරක්හු අනුභව කරන භෝජනයෙක් උතුම් දෝ හෝ”යි දිවසින් බලා එම රජගහා නුවරට නුදුරු තැන චම්පා නම් නුවර කොළිවීස නම් වූ සෝණ සිටාණන් අනුභව කරන්නා වූ සුවඳ හැල්සාලේ බත ඉතාම බුදුන්ට සුදුසු යයි දුටු සේක. කෙසේ වූ සුවඳ බතෙක් ද යත්?

සෝණ සිටාණෝ නම් ශ්‍රීවන්ත කෙනෙක, පවුරු අටලු නැති ව වීථි වාසල් සාදා තිබෙන දහස්ගණන් ගෙවල් ඇති මහගම් නියම් ගම් නම, එසේ වූ අසූදහසක් නියම් ගමට නායකයහ. ඒ සෝණ සිටාණෝ උපන් තැන් පටන් බිම පය නොගෑ කෙනෙක. කාරණ කිම? යත්;

ඒ සිටාණන්ගේ ඉඟුල් පතක් වැනිවූ සුරක්ත වූ යටිපත්ලෙහි අතිනීල වූ රොමරාජි පෙළ පෙළ දී දක්‍ෂිණාවෘත්තව නැමී හිඟුල් පතෙක අඳුන් කැටෙකින් සිතියම් කළා සේ, රත්මලස්නෙක දිය මෙරලිය මල් පිදුවා සේ, රොමරාජීන් විරාජමාන විය. මවුපියෝ ඒ සිටාණන්ගේ මේ ආශ්චර්‍ය්‍ය ය දැක පය බිම නො ගෑදී මහ පෙරහරින් වැඩුහ. දඹදිවු වාසි සත්ත්‍වයෝ එපවත් අසා තමන් තමන් අතුරෙහි විස්මයපත් ව සිංහල ද්වීපවාසී සත්ත්‍වයන් සමනොල දක්නට යන්නාසේ කැල බැඳ ගොස් සිටුපුත්‍රයාණන්ගේ යටිපත්ලෙහි ලොම් බලා ස්තුති කොට කොට යන්නාහු ය. සිටාණන් කොලු කෙළි කෙළිනා සමයෙහි “කිසි අවකාශයෙක පය බිම ගා පියති” යි මවුපියෝ ඇතුළු අඞ්ගණයෙහි ඒ ඒ තැන්හි බිම නො පෙනෙන සේ අනැඟි වූ පළසින් බුමුතුරුණු ලැවූහ. තව ද: සිටාණන්ගේ සුවහස් ගණන් පරිවාර ජනයෝ ඇතියහ; සෙසු සිටුවරුන් සේ උන්ගේ ගෙයි පහරක් ගැසීමෙක් වේව යි, වධයක් කිරීමෙක් වේව යි, දඟගෙයි ලීමෙක් වේව යි, නිග්‍රහ වසයෙන් එසේවූ ව්‍යවහාරයෙක් නැත. කෙසේ ජනයන් හික්මවා ගනිද්ද? යත්;

සිටාණෝ පරිවාර ජනයන්ට උදහස් වෙත් නම් “දැන්දක් පය බිමගා පියමි’”යි එක් පයක් බිමට දිගුකෙරෙති. එ කෙණෙහි සිටාණන්ගේ පින්බලයෙන් සියලු ජනයෝ වෙවුලා පැන නැඟෙති, හැමදෙනාට සියලඟ සැත්කම් කරන්නා සේ, හිස කුළු හෙළන්නා සේ, නොඑක් වධ කරන්නා සේ, වැටහෙයි. එ කල ජනයෝ “හිමි එතෙකින් පහව ගියම්හ, අපට වධ නො කැරවුව මැනැව”යි වැඳගෙන හොවිති. එ වේලෙහි සිටාණෝ බොහෝ දෙනාගේ යාච්ඤාවෙන් පය ඇකයට හයා ගනිති. එ වේලෙහි සිට හැම දෙනාට ම උපන් පීඩා නැති ව භය සන්හිඳෙයි, එසේ හෙයින් ජනයෝ ශික්ෂිත ව ම කර්‍මාන්තත් කෙරෙති, පක්‍ෂපාතත් වෙති. මෙසේ වූ තෙජසක් හා සම්පතක් කෙසේ වූ පින් බලයෙකින් ලදුවාහු ද යත්?

ඒ සිටාණෝ ගිය දවස වෙහෙරක් කරවා පසේ බුදු කෙනකුන් වහන්සේ වස් වස්වා නිරන්තරයෙන් උපස්ථාන කරන්නාහු දවසෙක පසේබුදුන් සක්මන්ගෙයි සක්මන් කරන වේලෙහි පයට පිහිඩා මහත් සේ දැක අනගි වූ පීඩාවක් සක්මන් ගෙයි බුමුතුරුණු කොට අතුට ඒ මතුයෙහි සක්මන් කැරවූහ. මෙසේ වූ පින් බලයෙකින්, මේ ජාතියෙහි මේ සා මහත් සිටු සැපතක් ලදින් පය බිම ගා නො පියන තරම් යටිපත්ලෙහි ලොම් නැඟෙන තරම් මේ සා මහත් තේජස් ඇතිවන තරම් ශ්‍රීවන්ත වූ කුලයෙක උපන්නාහු ය යි දත යුතු. වදාළේ මැනෝ:-

නත්‍ථි චිත්තෙ පසන්නම්හි - අප්පිකා නාම දක්ඛිණා,

තථාගතෙ වා සම්බුද්ධෙ අථවා - තස්ස සාවකෙ-යි.

තව ද: එම සිටාණන් සුවඳබත් කවන පරිදි කෙසේ ද යත්? සොළොස් කීරියක් මානයෙහි කුඹුරු ලියදි අතුල්තල සේ තනා සිසාරා පවුරු බැඳ ආකාශයෙහි ලෝ දැලින් වසා කුඹුරු දරාඬයෙහි සිය දහස් ලක්‍ෂ ගණන් මහසැළි පිළිවෙළින් තනා කස්තුරි ජබාදු, උරුලෑ තෙල් කපුරු සඳුන් ලමඟ කළුවැල් දෙවුදුරු යනාදි නො එක් සුවඳ පැනින් සැළවල් පුර පුරා ගේ වැඩූ දවස් පටන් සෙසු පැනක් කුඹුරට වැද්ද නො දී සුවඳ දියෙන් ම මඩ කලල් කොට වපුට දිය බැඳ ගොයම් පැසවන්නාහු ය. ඒ කෙත ගොයම් ගසුත් සුවඳය, කරලු ත් සුවඳ ය, කෙත සිසාරා ඇවිද අඩු වැඩි බලා පිටත් වූ ගොවින් ඇඟ පවා සුවඳ ගත්ති. ගොයම් පැසුණු කල සෙසු සැටියෙහි ඈසව යෙති. සිටාණන්ගේ සියලු පරිවාර ජනයෝ එක විට ම කෙතට වැද ලා කරල් නියෙන් සිඳ එකි එකී අසුරක් බැගින් සොළොස් කිරියෙහි කරල් සිඳගෙන යෙති. එ කල සඳුන් දණ්ඩෙන් ගුළක් කරවා සඳුන් පෝරු අතුට ගුළුපත්ලෙහි නන් ජාතියෙහි සුවඳබඩු රියනක් උස අතුට එ මතුයෙහි කරල් පෙළක, එ මතුයෙහි සුවඳ පෙළකැ යි යනාදි වසයෙන් ගුළවසල දක්වා පුරා ගුළෙහි අගුළු ගෙන හස් ඔබා තුන් හවුරුද්දක් නොසොල්වා බා වී කරල් සුවඳ කෑ කල ගුළෙහි දොර හරණාහු ය. එ කෙණෙහි එ ගුළෙහි දොර හැරී ම හා සමඟ ඇතුළෙන් නිකුත් සුවඳ මුළු නුවර එක සුවඳ පිඩක් සේ කෙරෙයි.

එ කල නුවර වාසී සත්ත්‍වයෝ මේ සුවඳ අසා “සෝණ සිටාණන්ගේ සුවඳ කරල් ගුළ අද දොර හළ වන්නැ”යි ගෙයි ගෙයි හිඳ කියති. එ දවස් පටන් දවසින් දවස සිටාණන්ගේ අනුභවයට විවර සුවඳ කරල් ගෙන සඳුන් පුවරු එබූ බිම් වළෙක දී මැඩ සඳුන් මොහොලින් පෑර සඳුන් වනෙක දී පැස කුඩු නො හැර දිමුතු මුතු සේ සහල් කෙරෙති. එකල ධූතියෝ දවසේ හා කුඩු ගෙන සළදායෙහි ලා අඹරා සියලඟ ගල්වා උත්සව කෙළි කෙළිති. එසේ පැසගත් සුන්සාල් අවුළා ගෙන සුවඳ පැනින් සත් අට වාරයක් දොවුන් ගෙන නවමු භාජනයෙක බහා උදුන නඟා සුවඳ දරින් ඒ බත් පිසන්නාහු ය. එ තරම් සුගන්‍ධමය වූ සූප ව්‍යඤ්ජනයෙන් සිටාණන් බත් කවන්නාහුය. එක් වේලෙක අනුභව කරන භොජනයම ලක්‍ෂයක් අගනේය, මෙසේවූ ආහාර සම්පත්තියක් පෙර පසේ බුදුන් වස් වස්වා ප්‍රසන්න වූ සිතින් දවසින් දවස ඇදහිලි ඇති ව දුන් දානසම්පත්තීන් ම ලදහ යි දතයුතු.

එ කල ආයුෂ්මත් වූ මුගලන් මහතෙරුන් වහන්සේ සිටාණන්ගේ මේ භොජනය දැක “ඔහු කරා ගොස් ඒ බස් ගෙනෙමි”යි සිතා එ කෙණෙහි සිවුරු වැළඳ පාත්‍රය දරා, වක් කළ අතක් දික් නොකරන ඇසිල්ලෙහි රජගහා නුවරින් චම්පා නුවරට වැඩ සිටාණන්ගේ සඳල්ලෙහි සඳවලාපටලයෙකින් වැසුම් ලද ඉන්ද්‍රනීලමණි පර්‍වතයක් සේ සියලඟින් නීලරශ්මි විහිදුව විහිදුවා වැඩ සිටිසේක. එ වේලෙහි සිටාණෝ තෙරුන් වහන්සේ දැක පස්වනක් ප්‍රීතීන් පිනා වැඳ පාත්‍රය ගෙන තෙරුන් වහන්සේ වඩා හිඳුවා තමන්ට සපයා තුබූ යටකී සුවඳහැල් සාලේ බතින් පාත්‍රය පුරා අතට පිළිගැන්වූහ. තෙරුන් වහන්සේ ගමනාකාර දක්වා “අප බුදුහු අද විරේචනයකින් පිළියමක් ලද සේක. එසේ හෙයින් බුදුන්ගේ සුකුමාරවූ ශරීරයට තොපගේ මේ ආහාර ය ම සුදුසුය. බුදුන් උදෙසා සිඟා ආම්හ”යි වදාළ සේක.

සිටාණෝ එ පවත් අසා ඉතා සන්තෝෂව “ස්වාමිනි! මා ගළවා නුඹවහන්සේට දුන් භොජනය නුඹවහන්සේ ම වළඳා වදාළ මැනැව බුදුන්ට ද මාගෙන්ම දන් යවමි”යි කියා ඔබ එ බත වළඳවා නැවත පාත්‍රය ශෝධා, සුවඳ පැනින් පිරිසුදු කොට එම සුවඳ බතින් පාත්‍ර ය පුරා “මේ බත මාගේ ආරාධනාවෙන් බුදුන් වළඳවාලුව මැනවැ”යි කියා තෙරුන් වහන්සේට පාත්‍රය දුන්හ. වේලෙහි තෙරුන් වහන්සේ ද සිටාණන් බල බලා සිටියදී ම ආකාශයට පැන නැඟී වේළුවනාරාමයට වැඩ පාත්‍ර ය බුදුන් ශ්‍රී හස්තයට පිළිගැන්වූ සේක.

එ වේලෙහි බිම්බිසාර රජ්ජුරුවෝ ද “අද විරෙචන දිනයෙහි මාගේ බුදුහු කෙසේ වූ භෝජනයක් වළඳන සේක් දෝ හෝ” යි තමන්ට පිසූ රාජභොජනයෙන් නිමන්ත්‍රණය කෙරෙමි යි සිතා වෙහෙරට ගොස් බුදුන් ළඟ සිටියාහු එ බත්පාත්‍රයෙහි පිධාන ය හැරීම හා සමඟම සියලු වෙහෙර ආරාමයෙහි සුවඳ අමා බස්නට පටන්ගත් කල රජ්ජුරුවෝ විස්මයපත් ව මුගලන් මහතෙරුන් වහන්සේ මුහුණ බලා “ස්වාමිනි! මේ මිනිස්ලොව බතෙක් නො වෙයි, ශක්‍ර භවනයට වැඩිසේක් ද, නොහොත් උතුරුකුරු දිවයිනට වැඩිසේක්දැ”යි විචාරා තමන්ගේ රාජභෝජනය බුදුන් වළඳවමි යි අවුත් බුදුන්ට උපන් භෝජනයෙහි තෘෂ්ණා බැන්දහ.

බුදුහු රජ්ජුරුවන්ගේ අදහස් දැන “මහරජ! දිව්‍ය භොජනයෙකු ත් නො වෙයි, උතුරුකුරු දිවයිනෙන් ගෙනා බතෙකුත් නො වෙයි, මනුෂ්‍ය භොජනයෙක් ම ය, තොපගේ චම්පා නම් නුවර, තොපට ම මෙ වක සේවක වූ සෝණසිටාණන් දවස් පතා අනුභව කරන බත් වේ දැ”යි වදාරා ඒ සිටාණන්ගේ ශ්‍රීමත් කම් හා ඔවුන්ගේ පත්ලෙහි ලොම් ඇති නියා හා ඔවුන්ගේ නොඑක් පින්බල වදාරා “මහරජ! මෙ වැනි බතක් තොපත් අනුභව කළවිරූ නැත, තෙපිත් අනුභව කරව”යි වදාරා රජ්ජුරුවන්ටත් දෙවා, බුදුහු එ බත් වළඳා වදාළ සේක.

කුමක් නිසා බුදුහු උපාසක ධර්‍මයෙහි පිහිටියා වූ රජ හට බත් දෙවා වදාළ සේක් ද යත්? මතු වන ලෝවැඩක් උදෙසා ම රජ්ජුරුවන් බත් කැවූ සේක. කෙසේ වූ ලෝවැඩෙක් ද යත්? රජ්ජුරුවෝ මෙ බතෙහි රස දැන විස්මයපත් වූවාහු සිටාණන් පත්ලෙහි ලොම් දන්නා නිසා “සිටාණන් දක්නා කැමැතියෙමි” කියා යවති, එ කල ඒ සෝණසිටාණෝ අසූදහසක් පමණ නියම් ගම් වාසීන් ගෙන රන්සිවි ගෙයෙකින් අවුත් රජ්ජුරුවන් දකිති, එකල රජ්ජුරුවෝ උන් පත්ලෙහි ලොම් ආදි වූ ආශ්චර්‍ය්‍ය හා රූපලීලායෙහි පැහැද තුමූ මෙ ලොවින් අනුශාසනා කොට “පරලෝ වැඩ නිසා ගොස් බුදුන් දකුව’”යි කියති, එ කල සිටාණෝ අසූදහසක් ජනයන් හා සමඟ අවුත් මා දැක බණ අසා සෝවාන් ව, ඒ සා මහත් සිටු සැපත් හැර මා කෙරේ මහණ ව, අමාමහ නිවන් දැක, සෝණ නම් මහතෙර ව, බුද්ධශාසන නමැති ශ්‍රී නගරයෙහි නැඟු ජය කේතුවක් සේ, ඉතා ප්‍රසිද්ධ වන්නාහු යයි මෙසේ වූ ලෝවැඩක් දැක බුදුහු ඒ භෝජනයෙන් රජුට සංග්‍රහ කළ සේකැ යි දතයුතු.

උතුරුකුරු දිවයින විස්තර කථාව

එ දවස් බුදුන් වැළඳූ අන්තයෙහි ජීවකයෝ ද බුදුන් කෙරෙහි අතිප්‍රසන්න වූවාහු අනැඟි වූ සීවෙය්‍ය ශාටකයෙන් බුදුන් පිදූහ. ඒ කෙසේ වූ වස්ත්‍රයෙක් ද යත්; සිවි රට ස්ත්‍රී පුළුල් රල් තුනින් තුන බදා මකුළුහූ සේ ඉතා සූක්ෂ්ම වූ හූ කටිනාහ, ඒ හුයින් වියන ලද සළු කෙහෙල් ගොබ් සේ සියුම් පහස් ඇති ව මිනිස්ලොවින් ඉතා මාහැඟි වෙයි, එයි දු සීවෙය්‍ය ශාටක නම. මේ වනාහි එසේවූ සළුවෙකුත් නො වෙයි, උතුරුකුරු දිව කප්රුකින් උපන්නා වූ දිව සළුවෙක, සීවථිකා නම් අමු සොහොනෙන් උපන් සළුව හෙයින් සීවෙය්‍ය ශාටක නම් වි ය. එහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු:-

උතුරු කුරු දිවයින නම් අයමින් විතරින් අටදහසක් යොදුන් පමණ මහිමණ්ඩලයක් ඇත්තේය. සිසාරා සූවිසි දහසක් යොදුන් පමණ ඇත්තේ ය. ඒ සා මහත් භූමි මණ්ඩලයෙහි වළෙකුදු නැත, ගොඩෙකුදු නැත, පර්‍වතයෙකු දු නැත, ගසෙකු දු නැත, වැලෙකු දු නැත, දිමුතු මුතුතලාවක් බඳු වූ පරිශුද්ධ වූ වාලුකාතලයෙන් ම ගැවසී ගත්තේ ය, සකසා හැමැඳී බෝමළුවක් සේ දර්පන භිත්තියක් සේ, නිෂ්කලඞ්ක ව හැමදාම තිබෙයි.

එහි මධ්‍යයෙන් පැනනැඟි: කඳබොල පස් යොදුන්, පසළොස් යොදුන් වටඇති, පනස් යොදුන් උස කඳ ඇති, පනස් පනස් යොදුන් උස ශාඛා පසක් ඇති සියක් යොදුන් උස ඇති, තුන් සියක් යොදුන් වට ශාඛාමණ්ඩලය ඇති, එකි එකී ශාඛාවෙහි දහස් සුවහස් ශාඛා පඞ්ක්තීන් විරාජමාන ව ශ්‍රීමත් වූ මහා කල්පවෘක්‍ෂ රාජයා පිහිටියේ ය. එ රුක විළිකුන් පත් නම් දිව්‍යමය වූ, රන්වන් වූ වස්ත්‍ර සමූහයෝ ම ය, මුහුකළ පත් නීලවර්ණ වූ දිව්‍ය වස්ත්‍ර සමූහයෝ ම ය, ලපල්ලවයෝ නම් සුරක්ත වූ දිව්‍ය වස්ත්‍ර සමූහයෝ ම ය ඒ ඒ තන්හි දිලියෙන අනෙකවර්ණවූ ශ්වේතවස්ත්‍රාදි දිව්‍ය වස්ත්‍රයෝ මෙතෙකැයි ගණන් නැත. ඒ රුක අඞ්කුරයෝ නම් ප්‍රවාල ලොහිතඞ්කාදි දිව්‍ය රත්න සමූහයෝ ම ය, ඒ රුක ඵල නම් මුතුමැණික් ආදී වූ නවරුවන් ම ය, එ කප්රුකෙහි මැවී තිබෙන්නා වූ දිව්‍ය සම්පත් එක මුඛයෙකින් තබා සියක් දහසක් ලක්‍ෂයක් මුඛ මවා ගෙනත් කියා නිමවාගත නො හැක්කේ ම ය. එහි සත්ත්වයන් මේ ලොකයෙහි යම් සම්පතක් උව මැනැවැ යි සිතාලා කප්රුකට අත දිගු කළ කල්හි සිතූ සිත හා සමඟ හස්තයෙහි පෙනී යයි. යොදුන් දහසෙක සිට ත් කප්රුක දිසා බලා අත දිගු කළ කල්හි ප්‍රිය පුත්‍රයකු කරා අත දිගු කරන පෙම්බර මවක සේ, කප්රුකින් ශාඛාවෙක් ඔහු කරා දිව අතට සිතූ සැපතක් දීලා, නැවත ගොස් ස්වකීය ස්ථානයෙහි ම සිට ගන්ති.

ඒ සා ද්වීපය මුළුල්ලෙහි සත්ත්වයෝ පූජාමළුවකට රැස් ව ගහන ව සිටිනා මහ පිරිසක් සේ කප්රුක සිසාරා අතුරු නොදී ම වාස ය කෙරෙති. එ තෙක් සත්ත්වයන් අතුරෙන් කෘෂි වණික් ආදි වූ කර්‍මාන්ත කරන කෙනෙක්, බඩ නිසා දුක් ගන්නා කෙනෙක් නැත. ගෙයක් දොරක් නැඟීමෙක් පුත්‍රදාරාදි බන්‍ධු ව්‍යසනයක් විඳිනා කෙනෙකු දු නැත, ව්‍යාධියෙන් පෙළෙන කෙනෙකුදු නැත, ඔවුනොවුන් හා සංග්‍රාමයක් කරන කෙනෙකුදු නැත, ඔවුනොවුන් කෙරෙහි ආක්‍රොශ පරිභවයක් කරන කෙනෙකුදු නැත, ස්ත්‍රී පුරුෂයන්ගේ කලහව්‍යවහාරයෙකුදු නැත. තව ද දිව්‍යලොකයෙහි දෙවියන්ගේ කප්රුක් නිසා දෙවඟනන් නිසා කලහ ඇතියේ ම ය, මේ උතුරුකුරු දිව වනාහි එසේ වූ කලහයෙකු දු නැත, එසේ හෙයින් ඒ දිවයින දෙව්ලොවට ත් වඩනේම ය යි දතයුතු.

තව ද: ඒ ද්වීපයෙහි අනික් ආශ්චර්‍යයෙකු දු ඇත. ඒ කවර? යත්; ලෝකයෙහි සත්ත්‍වයන් සුව විඳිනේ ප්‍රාසාද නගර දොරටු අටලු උද්‍යාන පැන් පොකුණු ආදි වූ සම්පත් නිසා මය. ඒ ද්වීපයෙහි ප්‍රාසාදයෙකුත් නැත, පවුරෙක් අටල්ලෙක් නුවරෙක් අගලෙක් පුෂ්පාරාම ඵලාරාමයෙක් පුෂ්කරණියෙක් කිසිදෙනකුත් නැත. එසේ කල මනුෂ්‍යයෝ කෙසේ වූ සුව විඳිද් ද යත්? පොද බින්දුවකු ත් ආකාශයෙන් හී ඔවුන් නො තෙමන හෙයිනුත් සුවඳ මඳපවනක් මුත් සුළං ශීතපීඩාවක් තමා නැති හෙයිනුත් ගෙවලිනු දු ප්‍රයෝජන නැත. සතුරන් නැති හෙයින් පවුරු අටලු අගල පදනමින් ප්‍රයෝජන නැත. සිතු සිතූ මල් ඵලාදිය කප්රුකින් ම ලැබෙන හෙයින් උද්‍යානවලිනු දු ප්‍රයෝජන නැත. සිතු සිතූ විට උදක නිර්මිත වන හෙයින් පැන්පොකුණු වලිනු ද ප්‍රයෝජන නැත. වැළි නුවර නම් කවරේ ද යත්? ඒ ද්වීපය සිසාරා සිටියා වූ ස්වර්ණ සාගරය පවුරු නම, තව ද ඒ සා ද්වීපය මුළුල්ලෙහි අහස් වියනක් බැන්දා සේ, වලාපටලයෙක් සිටගෙන ගේපළයක් සේ, සත්ත්වයන්ට වැසි සුළං අවු පීඩා විය නො දෙයි, එසේ හෙයින් ඒ ද්වීපය එක මඟුල් ගෙයක් වැන්න, වැසි වස්නා කල ආකාශයෙහි යොදුනක් පමණ තැන වැසි වැස ගොස් පොදබින්දුවකු ත් ජනයන් ඇඟ නො හෙළා මුහුද ම වැගිරෙයි. මහීධුමයන් ආදි වූ හිමයෙනු දු වන පීඩාවෙක් නැත. සිංහ ව්‍යාඝ්‍ර නා පොළොං මැසි මදුරුවන් ආදී වූ සතුන්ගෙන් වන පීඩාවෙකු දු නැත.

තව ද: එක් ආශ්චර්‍ය්‍යයෙකු දු ඇත. එ තෙක් සත්ත්‍වසමූහයා අතුරෙන් මූ අසවලුන් පුත්‍රයහ. අසවලුන් නැඟණියහ, අසවලුන් මෑණියහ, අසවලුන් පියාණහ යනාදීන් වෙනස්වූ ව්‍යවහාරයෙකුදු නැත. මොහු මාගේ භාර්යාවයහ, මොහු මාගේ පුත්‍රයහ යි එක ප්‍රේමයකු දු නැත. හැමදෙන ම ඔවුනොවුනට මවුන් වැනියහ, පියන් වැනියහ, සහෝදරයන් වැනියහ, කල්‍යාණ මිත්‍රයන් වැනියහ, එසේ හෙයින් ඔවුනො’වුන් කෙරෙහි සම වූ මෛත්‍රි ය ඇතියහ. උපන් දවස් පටන් අඛණ්ඩකොට රක්ෂා කරන්නාවූ පන්සිල් ඇතියහ.

ඒ සා ද්වීපය මුළුල්ලෙහි ඒ ඒ දිග්හි අතුරු නැතිව පෙළ පෙළ දිදී දිව්‍යමය වූ යහන් සරහා තිබෙයි. දිව්‍යමයවූ ඛාද්‍යභොජ්‍ය මැවී තිබෙයි, දිව්‍යමය වූ වස්ත්‍රාභරණ මැවී තිබෙයි, දිව්‍යාභරණයෙන් සමලංකෘත වූ දෙවුලොව දෙවඟනන්ට අපහාස කරන්නාක් වැනි වූ උත්තම ස්ත්‍රී සිය දහස් ලක්‍ෂ ගණන් ඒ ඒ තැන්හි කැල බැඳ සිටිනාහු ය, යන්නාහු ය, එන්නාහු ය, කන්නාහු ය, බොන්නා හු ය, නටන්නා හු ය, ගී කියන්නා හු ය, වීණාදි නන් විසිතුරු ගායනා. කරන්නාහු ය. ඔවුනො’වුන් අත්වැල් බැඳ ඒ ඒ තැන්හි සිට පුසඹු කෙළිණා හු ය. එ කල දිව්‍යමය වූ වස්ත්‍රාභරණයෙන් සමලංකෘත වූ දිව්‍යභටයන් බඳු වූ පුරුෂයෝ ද, සිය දහස් ලක්‍ෂගණන් දෙන ඔවුනො’වුන් හා අත්වැල් බැඳ ඒ. ඒ දිග්හි දිවාරාත්‍රියෙහි උත්සව කෙළි කෙළ ම ඇවිදිනා හු ම ය.

මෙසේ ක්‍රීඩාවෙන් මත් ව ඇවිදිනා කල මළමුත්‍ර වහන ය කරම් හ යි සිතූ නම් ඔවුන්ගේ පින්බලයෙන් එ කෙණෙහි නිල්වලා පටලයෙක් දිව අවුදින් ඔහු සිසාරා වසා සිටගනිති. එ කෙණෙහි පොළොව දෙකක් ව පැළී වළෙක් පෙනී යෙයි. එහි මලමුත්‍ර වහන ය කළ කල නැවත එ වළ අන්තර්ධානව පස්පියුම් විලෙක් මැවී යෙයි, එහි උදක කෘත්‍ය ය කොට අභිප්‍රාය ඇත්තේ වී නම් බැස ජලස්නානය කොට කැමැති කැමැති මල් බිඳ පැලඳි කල්හි ඒ විල ද අන්තර්ධාන වෙයි, එ කල පොළොව පළා නැඟි නාගමානවකයන් සේ නිර්‍මල ව සිටිනාහු ය.

නැවත බත් අනුභව කරම්හ යි සිතූ කල්හි ඒ ඒ තන්හි සරහා තිබෙන දිව්‍යභොජනයන් අනුභව කරන්නාහු ය. කය සතපම් හ යි සිතූ කල්හි දුටු යම් දිවයහනකට නැඟී කය සතපන්නාහු ය. හිඳුම්හ යි සිතූ කල්හි දුටු යම් දිව්‍යාසනයෙක හිඳිනාහු ය. කාමසුවයක් අනුභව කරම්හ යි සිතූ කල්හි දුටු යම් ස්ත්‍රියක හා සමඟ කාමාස්වාදය විඳිනාහු ය. එහි වෙනසක් නම් රතිකාලයෙහි මවුන් දුටුකල මවුන් තනයෙන් ක්‍ෂීරධාරාවෝ නික්මෙති. එ කල ඒ සළකුණෙන් මොහු අප මෑණියහ යි හැඳින වැඳ පුදා ක්‍ෂමා කරවා යෙති. පියන් කරා දූන් පැමිණි කල්හි පියන්ගේ තනයෙනු දු ක්‍ෂීර ධාරාවෝ නික්මෙති. එ සලකුණෙන් අප දියණියහ යි හරිති.

ගර්භනී ස්ත්‍රීන් ක්‍රීඩාවෙන් යන කල්හි ගර්භ චලනය වී නම්, එ කෙණෙහි දිවයහන් කරා එළඹ ධර්‍මකරකයෙහි දියත්තක් සේ, අත තුබූ මැණිකක් යහනෙහි තබන්නා සේ කිසි ව්‍යසනයකුත් නැති ව දරුවන් වදා යහනෙහි ලා කිසි කුණපයකු ත් නැතිව තමන් යන ගමන් ගොස් පෙර සේම කෙළෙනාහු ම ය. පසුව අනික් ස්ත්‍රියක් එ දරුවන් නාවා යෙයි, අනිකක් අඳුන් ගා යෙයි. අනිකක් තෙල් ගා යෙයි, අනිකක් මල් පළඳවා යෙයි, අනිකක් සුවඳ විලෙවුන් ගල්වා යෙයි, අනිකක් එ දරුවන් නළවා යෙයි, අනිකක් වඩාගෙන සිඹ සනහා කිරි පොවා තනතුරෙහි නිඳි ගන්වා යෙයි, අනිකක් රෑව ගියේ නම් එ දරුවන් බඩ දී නළව නළවා සැතපෙන්නීය. මෙසේ එක දරුවන් කෙරෙහි හැම ස්ත්‍රී ම සම මෙත් ඇති ව මාතෘ ධර්‍මයෙන් පෝෂ්‍ය ය කරන හෙයින් වැදූ මෑණියෝ - පියාණෝ තමන් වැදූ දරුවන් බව ත් නො දන්නාහ. දරුවෝ ද වැදු මවුන් පියන් කවුරුන් බවත් නොදන්නාහ. මෙසේ කියා නිමවා ගත නොහැකි දිව්‍යමය වූ සම්පත් ම අනුභව කරන්නාහ. ඔවුනොවුන් කෙරෙහි සම ව ඇති මෛත්‍රී බලයෙන් හා අඛණ්ඩ වූ පඤ්චශීලයාගේ බලයෙන් හා, ඒ උතුරුකුරුදිව උපන්නාවූ ස්ත්‍රී පුරුෂයෝ හැම දෙන ම, හැම කාලයෙහි ම, අඩුවැඩි නැති ව ජරා විලි පිලි නැති ව, රෝග ව්‍යසන නැති ව, දහසක් හවුරුදු ම ජීවත් වන්නා හ.

දහසක් හවුරුද්දෙන් ස්ත්‍රී පුරුෂයන් කාළක්‍රියා කළ කල ගිනි දර ය යි යන ව්‍යවහාර ඒ ද්වීපයෙහි නැති හෙයින් මිනී දැවීමු දු නැත. වැළි කුමක් කෙරෙද්ද යත්? මළවුන් සියලඟ නො පෙනෙන සේ දිව්‍යාභරණයෙන් සරහා කප්රුකකින් උපන් දිවසළු හඳවා, දිවසළුවෙකින් වසා, රන්සිවිගෙන් මහපෙළහරින් ගෙන ගොස් අමුසොහොනෙහි තබා එති, එ කල ඉතා මහත්වූ ඇතුන් පවා ගසා ගෙන පලා යන තරම් ඇත්ගිජු ලිහිණියෝ ය යි යන හිමාලයෙහි වසන පක්ෂිජාතියෙක් ඒ මිනී ගෙනගොස් මහමුහුදු මැද යුගන්ධරාදි පර්‍වත මුදුන්හි ද, හිමාලය පර්‍වතයෙහි ද, ඒ ඒ තැන්හි හිඳ මස් කා ඇටසැකිලි ඒ ඒ තන්හි හෙළන්නාහු ය.

සීවෙය්‍ය සාටක පූජාව

එසේ ම මිණියක් ලිහිණියෙක් ගෙන ආකාශයෙන් හිමාල ය බලා යන කල්හි උතුරු සළු දෙකෙක් දඹදිවට නුදුරු වූ මහ වනයෙක වැටී ගිය. එ කල ඒ සළු දෙක යට කී චණ්ඩ ප්‍රද්‍යොත රජ්ජුරුවන්ගේ විජිතයෙහි වැද්දෝ වනයෙහි තුබුවා දැක අනැඟි වූ වස්ත්‍රජාතියෙකැයි ගෙන’වුත් තමන් රජ හට පාවා දුන්හ. රජ්ජුරුවෝ එ සළු දෙක බලා අගය කරවා, ලක්‍ෂයක් කෝටියක් පමණටත් එම වඩනා සේ මුළු දඹදිව සියලු රජුන්ගේ සළුපිළී එක්කළත් එ ම වඩනා සේ දැක. “මෙ වැනි අනැඟි වූ වස්ත්‍රයෙක් කවුරුන්ට තරම් දෝ හෝ”යි කල්පනා කරන්නාහු ජීවකයන් සිහිකොට “ජීවකයෝ නම් මා දිවි රැක දුන් යහළුවහ, තමන්ගේ ජීවිතයටත් නො සිතා මාගේ ජීවිත ය රැක දුන් හෙයින් මට කල්‍යාණ මිත්‍රයහ, නො එක් වාරයෙහි මා විසින් කැඳවා යවතු දු මා කළ නුගුණ සිතා මා කරා නො එන්නාහ, ඉදින් අවු නම් මාගේ රාජ්‍යයෙන් අර්ධයක් දෙම් ම ය, ඔවුන් නො එන බැවින් මේ අනැඟි වූ දිවසළු දෙක උන් කරා යවමි”යි සිතා නො එක් රන් රුවන් ඇතුළු වූ රජ පඬුරු බිම්සර රජ්ජුරුවන්ට යවා ඒ ශාටක යුග්මය ප්‍රධාන වූ නො එක් සම්පත් ජීවකයන්ට යවූහ.

ගැහැවි චීවරය පිළිගැනීමට නියම කිරීම

ජීවකයෝ ඒ ශාටක යුග්මය බලා ඉතා මාහැඟි සේ දැක “මේ අනිකක්හට තරම් වස්ත්‍රයෙක් නො වෙයි, ලොවුතුරා බුදුන්ට පූජාවට තරමැ”යි සිතා බුදුන්ට තමන් විරේචනෙය කැරවූ දවස් සෝණ සිටාණන්ගෙන් ගෙනා සුවඳ හැල්බත වැළදූ අන්තයෙහි ඒ ශාටක යුග්ම ය ගෙන ගොස් බුදුන් ශ්‍රීපාදමූලයෙහි පුදා “ස්වාමි දරුවූ බුදුරජාණෙනි! නුඹගේ ප්‍රථම බෝධියෙහි පටන් මෙ වකට විසි අවුරුද්දෙක් අතික්‍රාන්ත වි ය. මෙතුවක් කල් මුළුල්ලෙහි නුඹ වහන්සේගේ සියලු භික්ෂුගණයා ම පාංශුකූල චීවර ධාරීහ, අද දක්වා ගෘහපති චීවරයක් පිළිගන්නා භික්ෂු කෙනෙක් නැත, අනාගතයෙහි ත් එසේ ම පවතී නම් ශ්‍රද්ධාවන්ත වූ බොහෝ සත්ත්වයෝ තමන් තමන්ගේ භෝග පමණින් ලද උතුම් වූ වස්ත්‍රදානය දී බොහෝ පින් රැස් කොට ගත නො හෙන්නාහ. බොහෝ දෙනාට වන ලෝ වැඩත් නිසා නුඹවහන්සේගේ ශ්‍රීමත් කුලෙන් මහණ වූ සංඝයාට ඵාසු ත් නිසා, මට ම අනුග්‍රහත් නිසා, මාගේ මේ අනර්ඝ වූ සළුසඟළ නුඹවහන්සේ පිළිගෙන ‘මෙයින් මත්තෙහි ගැහපති චීවරය භික්ෂුණුත් පිළිගන්නා පරිද්දෙන් ශික්ෂාපදයක් පනවමි’යි යන වරයෙකින් ගැත්තවුට මේ පිළියම කළ තැනට ප්‍රසාදයක් දී වදාළ මැනැවැයි” ආරාධනා කළහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ ජීවකයන් කී පවත් අසා සකාරණ සේ දැක ‘මාගේ ශාසන ය රූක්‍ෂ ප්‍රතිපත්තියෙන් ම, එකාකාරයෙන් ම, පවතී නම් බොහෝ කාලයක් නො පවත්නේ ය. තමන් තමන් බලානුරූප වූ පරිද්දෙන් ශ්‍රාවකයෝ ප්‍රතිපත්ති පුරත් නම් මාගේ ශාසන ය බොහෝ කලක් පවත්නේය” “බොහෝ ශ්‍රද්ධාවන්තයෝත් ගැළවෙන්නාහුමය”යි සිතා ලෝක ශාසන දෙක්හි උපන් මහ කුළුණු ඇති ව එ වේලෙහි භික්ෂුගණයා රැස්කොට තමන් වහන්සේ ඒ සාටක යුග්මය පිළිගෙන “අනුජානාමි භික්ඛවෙ ගහපති චීවරං, යො ඉච්ඡති පංසුකූලිකො හොතු, යො ඉච්ඡති ගහපති චීවරං සාදියතු, ඉතරිතරෙනපහං භික්ඛවෙ සන්තුට්ඨිං වණ්ණෙමි” යි පාළි වදාරා ගෘහපති චීවරය පිළිගන්නා පරිද්දෙන් ශික්ෂාපද පනවා එ වේලෙහි ජීවකයන්ට අනුරූප වූ ධර්‍මදෙශනා කළ සේක. එ වේලෙහි ජීවකයෝ බුදුන් අතින් වරලද සන්තොෂයෙන් පින පිනා බණ අසන්නාහු යෙළ දහසක් කෙලෙසුන් නසා දහසක් නයින් පිරුණාවූ සෝවාන්ඵලයට පැමිණියහ. සිවථිකායෙන් උපන් ශාටක හෙයින් ඒ සළුසඟළ සිවෙය්‍ය ශාටක නම් වි ය.

බුදුහු එ වේලෙහි “මෙයින් මතු බොහෝ ශ්‍රද්ධාවන්තයෝ මාගේ ශ්‍රාවකයන්ට අනැඟි වූ බොහෝ වූ වස්ත්‍රදානයත් දෙන්නාහු ය. ඒ වස්ත්‍රයන් නිසා මතු සොරුන් සතුරන්ගෙන් මාගේ භික්ෂූන්ට බොහෝ උපද්‍රව වන්නේ ය, ශ්‍රාවකයන් ඒ උපද්‍රවයෙනුදු ගොඩනඟා සංඝයාට ශ්‍රමණසාරුප්‍ය වන පරිද්දෙන් අනැඟි වූ පිළී අගය නැති වන සේ, ගිහි පුද්ගලයන්ට ප්‍රයෝජන නොවන සේ, කපා කිරීම් විවර ව්‍යවහාරයක් උපදවමි”යි සිතා අනඳ මහ තෙරුන් වහන්සේ බණවා, ඒ ශාටක යුග්ම ය ඔබ අතට දී “ආනන්දය! කිඹුල්වත් පුරයෙහි කුඹුරු බලගැ”යි වදාළ සේක.

එ වේලෙහි අනඳ මහ තෙරුන්වහන්සේ පෙර තමන් වහන්සේ බුදුන්ගේ අදහස් දන්මි යි ප්‍රාර්ථනා කොට කප්ලක්‍ෂයක් පැරුම් පුරා ආ මහා ප්‍රඥා ඇති හෙයින් බුදුන් වදාළ එකවචන මාත්‍රාවෙන් බුදුන්ගේ අදහස් සකසා දැන ඒ ශාටක යුග්මය හස් කපා හැර මැඬිලි තිසක් පොලූ ගෙන ඒ තිස පස් අක්තක් කොට ඒ අතුපස එක්කොට කපා කරණ ලක්‍ෂණය කිඹුල්වත කුඹුරු වූ නියාවටම උපදවාලා බුදුන් සිතූ සැටියේ ම සඟළ සිවුරු නිමවා කිණිහිරි මලක් සේ රඳා බුදුන් ශ්‍රී හස්තයට දුන් සේක. බුදුහු සිවුර බලා අදහස් නො වැරැදි සේ දැක සාධු සාධු ආනන්‍දය! බුදුන් අදහස් දැන්මෙහි අග්‍රයෙහි ය”යි ඔබට ස්තුති වදාරා “මෙයින් මතු මාගේ භික්‍ෂු නු දු තුන්සිවුරත් මෙසේම කපා කොටා වළඳන්නේ ය”යි නියෝග කළ සේක. එ තැන් පටන් සිවුරු කපා කිරීම් ව්‍යවහාර උපන.

අඹවනය බුදුන්ට පිදීම

එ තැන් පටන් ජීවකයෝ බුදුන්කෙරේ අතිප්‍රසන්න වූවාහු අචල වූ ශ්‍රද්ධාවෙහි පිහිටියාහු “මෙතැන් පටන් මාගේ බුදුන් දවස දවස තුන්වාරයක් දුටමැනැව, මාගේ වාසයට වෙළුවනාරාමය ඉතාදුර, මාගේ අඹවන ය ඉතා ළඟ ය, රම්‍යය, සිත්කලුය, එයි දු බුදුන්ට පිළිගන්වමි” යි සිතා උයන සිසාරා අටළොස්රියන් මහ පවුරෙන් සුරක්‍ෂිත කොට වාසල් මණ්ඩප පැන්පොකුණු රාත්‍රිස්ථාන දිවාස්ථාන චංක්‍රමණස්ථාන ගන්‍ධකුටි ධර්මශාලාදි සියලු කර්මාන්තයෙන් දිව්‍යොද්‍යානයක් සේ සරහා බිම්සර රජ්ජුරුවන් ආදි වූ එ නුවර අටළොස් කෙළක් මනුෂ්‍යයන් හැමදෙනා හා සමඟ මහත් වූ පූජාකොට බුදුන් ප්‍රධානවූ එක්දහස් දෙසිය පනස් මහ රහතන්ට අඹ උයන පිළිගන්වා සත්දවසක් මුළුල්ලෙහි අප්‍රමාණ වූ පූජා කොට පින් රැස් කරන්නාහු තමන්ගේ ධන පමණින් ම බුදුන් පිදූහ.

මෙසේ මේ එක කථාවෙහි දක්වන ලද අසාධාරණ විරෙචන ප්‍රතිකාර පූජා ය, අටළොස් කෙළක් සත්ත්‍වයන් තමන් තමන්ගේ භෝග පමණින් එ දවස් කළ ආමිශදාන පූජා ය, බිම්බිසාර රජහු කළ අග්‍රභෝජන පූජා ය, සෝණ සිටාණන්ගෙන් ලද සුගන්‍ධ ශාලි භොජන පූජාය, එම සිටාණන් අසූදහසක් පුරුෂයන් හා සමඟ සෝවාන් වූ දවස් පටන් සිටුසම්පත්තීන් කළ පූජා ය, ඔවුන් ම සසුන් වැද මහණව අමාමහ නිවන් දැක්මෙන් කළාවූ ජීවිතාන්ත ප්‍රතිපත්ති පූජා ය, ජීවකයන් අනැඟි වූ ශාටක යුග්මයෙන් කළ පූජා ය, ඔවුන් ම සෝවාන් ව දිවිපමණින් කළ සම්‍යක් ප්‍රතිපත්ති පූජා ය, ඔවුන් ම තමන් තමන්ගේ භෝග පමණින් බුදුන් පුදා අටළොස් කෙළක් මනුෂ්‍යයන් හා සමඟ සත් දවසක් ප්‍රබන්‍ධයෙන් කළා වූ ජීවකාරාම පූජා ය යි මෙසේ සත්ත්වයන් තමන් තමන්ගේ භෝග පමණින් කරනලද අපමණ වූ පූජා ලත් හෙයිනු ත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ ම ස්වාමිදරු වූ, මට ම දෙවි වූ, බඹ වූ, අමා වූ, මට ම ශරණ වූ, මා ම නිසා ලෝකයෙහි උපන්නාක් වැනි වූ, මාගේ බුදුරජාණෝ අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදී:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථො,

අත්‍ථානු‘රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං-යි.

මේ පූජාවලියෙහි අප බුදුන් ජීවකයන්ගෙන් ලද

ජීවකාරාම පූජා කථා නම්වූ අට විසි වන පරිච්ඡෙදය නිමි.

29. සමමෙත් නොයෙක් ජාතිභේද පූජා කථා

දෙවිදතුන් වයිර බැඳීම

තව ද: අප බුදුන් දෙවදත්තාවතාරයෙහි ලද සම මෙත් නොඑක් ජාතිභෙද පූජා නම් කවර? යත්;

ඒ දෙවිදත් යම් දවසෙක බුදුන්ට යම් රන්තලියක් නිසා ආඝාත බැඳ එ තැන් පටන් සංසාරයෙහි දු ඔබට වෛරීව ම අවුදින් සසර අටවාරයෙක්හි ම මහ පොළව ගලන ලදුව බුදුවූ ජාතියෙහි බුදුන්ට නො එක් වාරයෙහි වධක ප්‍රයෝග කොට, ඔබට හානියක් කොට ගත නොහී, කෙළවර දෙවුරම් වෙහෙර පොකුණු මියර දී ඔහු මහ පොළොව ගැල නව නව වාරයෙහි අවීචි මහ නරකයට වන් නියාව ත්, ඔහු ම නිසා බුදුන් නො එක් පූජා ලත් නියාවත්, පන්සිය පනස් ජාතකයෙන් නො එක් උදාහරණ දක්වා මා විසින් කියන්නාවූ මේ කුශලා කුශලයාගේ විභාගය හා ද්වේෂයාගේ ආදීනවය හා බුදුන්ගේ ක්‍ෂාන්ති පාරමිතාවගේ විභාගයත් සත්පුරුෂයන් විසින් සාවධාන ව ඇසිය යුතු.

මේ මහා භද්‍රකල්පයට යට පස්වැනි වූ බුද්ධශූන්‍ය කල්පයෙහි මාගේ ශ්‍රී මහාබෝධිසත්ත්වයෝ සසර පාරමිතා භූමියෙහි ඇවිදිනා සේක් වෙළෙඳ කුලෙහි ඉපැද, ධර්මිෂ්ඨ ව වෙළෙඳාම් කොට ඇවිද, කුටුම්බ සණ්ඨාපනය කරණ සේක. දෙවිදත් බොළඳවූ වෙළඳව, අඥාන ව, සොර වෙළෙඳාම් කොට සෙරිවාණිජ නම් වෙළෙඳ ව අධර්මයෙන් ජීවත් වෙයි. එ කල බෝසතාණෝ ඔහු හා සමඟ එක නුවරෙක් වෙළෙඳාම් කොට දවසෙක ඇවිදිමින් සිටියාහ.

එ නුවර පෙර අසූ කෙළක් ධන ඇති සිටුකුලයක් ක්‍රමයෙන් පිරිහී දුඃඛිත ව මුත්තණියක හා මිණිබිරියක හා දෙදෙනෙක් ව අනුන්ට බැලමෙහෙ කොට ජීවත්වෙති. එ ගෙයි පෙර සිටාණන් බත් අනුභව කළ ලක්‍ෂයක් අගනා රන්තලිය දීර්ඝකාලයක් නොමැදීමෙන් පැහැ පෙරළී මැටි තලියක් සේ තිබෙයි. ඔවුන් දෙදෙනාගේ පින්නැත්තෙනුත් මැටි වළඳක් සේ තිබෙයි. එ කල දෙවිදත් ඒ වීථියට පැමිණ “වළලු ගනුව දැරියනි “යි හඬගෑය, කුමාරිකා එ තෙපුල් අසා “මුත්ත! මා අත වළලු ලව’”යි හැඬුව. එ වේලෙහි මුත්තණියෝ “කම් කළ දුව! කුමක් කියවුද, අනුන්ට බැලමෙහෙකොට ජීවත් වන හෙයින් කිසි සරණක් නැති වුව, කෙසේ තී අත වළලු ලම් දැ”යි කීහ.

නැවත කුමාරිකා මිදුල පියවා යන වෙළෙඳහු බලා වළල්ලෙහි ලෝභයෙන් දොහොත් මුදුනෙහි තබා ගෙන මුත්තණියන් වැඳ වැඳ “තෙල යටිගුල නිෂ්ප්‍රයෝජනව දමා පියා තිබෙන මැටි තලිය දීලා වී නමුත් මට වළලු ලවාලන්නැ”යි කිව. මුත්තණියෝ දුව නළවා ගත නො හී වෙළෙඳහු කැඳවා හිඳිනා හසුන් දී “පුතණ්ඩ! නුඹගේ මේ නං වළල්ලට අඬයි, මේ මැටිතළිය. ගෙන මස්සෙක වළලු ඈ අත ලා පියන්නැ”යි කියා තලිය දුන්හ. එ වේලෙහි සොර වෙළෙඳ තලිය බර හෙයින් “මේ මැටිවළඳෙක් නොවෙ” යි දැන තලිය පිට යකටුවකින් හිරා ඝනරන්තලි බවු දැන මොහු වෙළෙඳ කමක් නො දන්නා බොළඳ කමක් ඇති කෙනෙක, ඝන රන් තලි ය එක මස්සකට දෙත් ල, එක මස්සකුත් නොදී මුන් මුහුණ වැලි ගසා පියා නිකම් ම මා හැරගත මැනැව, මා අත තුබූ බඩු විකොට ගතහැකි බඩු ය. ගෙට ගොස් බිඳීගිය වළලු ගෙනවුත් දීලා මස්සකු ත් නො නසා දැන්දක් හැරගෙන යෙමි” යි සිතාලා “මේ තලිය මස්සක් තබා අඩමඳටකුත් නො වටී, එ මට හැයිදැ” යි බිමට දමා පියා කුඩා කෙල්ල හඬ හඬා සිටිය දී නිෂ්කරුණාව ම පලා ගියේය.

ඔහු ගිය පසු, මූර්තිමත් වූ කරුණාපිඩක් සේ මාගේ සත්ත්‍වයෝ දෙවිදත්හුගේ සොර වෙළෙඳාම් නමැති ගිනිගත් මඟ හැල් පැන් ඉස්නා නේ ධර්මිෂ්ඨවූ වෙළෙඳාමෙන් ඇවිදිනා සේක් ඒ වීථියට පැමිණ “කැමැති කෙනෙක් වළලු ගනුව”යි හඬගෑ දෑ ය. බෝසතුන්ගේ මධුර වූ තෙපුල් අසා “මොහු මෘදු වූ බස් ඇති කෙනෙක, රූක්‍ෂ වූ කෙනෙක් නො වෙ”යි වචනානුසාරයෙන් බෝසතුන්ගේ ගුණ දැන ගෙට කැඳවා හිඳිනා හසුන් පෙර සේ ම කියා බෝසතුන් අතට තලිය දී මස්සෙක වළලු ඉල්වූහ. බෝසතාණෝ ද, පරීක්ෂා කොට ඝනරන්තලියක් බවු දැන ඔවුන් කෙරෙහි උපන් මහාකරුණා ඇතිව “මෑණියනි! නුඹ මෙසේම බොළඳ හැයි ද, මේ තලිය මට පෑවා සේ අනිකක්හට නො පානේය, මේ රත්රන් දහසෙකින් කළා වූ ලක්‍ෂයක් අගනා ඝනරන්තලි ය. නුවණැති වුව හොතින් එක් කුලයෙක ඇත්තන් එත්ජාතියක් මුළුල්ලෙහි ජීවත් ව යාහැකි ධනයෙක, සඟවා තබාගත මැනැවැ”යි කී දෑ ය.

එ බසට මැහැලි වහන්සේ “තෙල ආ වෙළෙඳාණෝ අඩමඳටකුත් නො වටිති යි කියා බිමට දමා ගියහ, දැන් නුඹගේ පිනින් ඝනරන් වූනියා ය, එ නුඹ ම ගෙන නුඹගේ නැඟණියන් අත වළලු ලා උන්ගේ හැඬුම් සන්හිඳුවා උන් නළවා දීලුයේ නම් ඒ ලක්‍ෂය ම ලද්දා හා සමයැ”යි කියාතලිය බෝසතාණන්ට ම පාවා දුන්හ. එ වේලෙහි බෝසතාණෝ “මැහැණියෙනි! මේ තලිය වටිනා මිලයෙක් මාගේ නැත. එසේ හෙයින් නුඹදෑගෙන් නිකම් දුන්නා හා සම ය, මමද මාගේ ශක්ති පමණින් සංග්‍රහ කෙරෙමි”යි කියාලා අත තුබූ මසු දහසක් අගනා බඩුපයිය බඳවනින්ම පාවාදී ඔරු කුලියට එක රන්අටමස්සක් හා පසුඹිය පමණක් උන් අතින් ම ඉල්වා ගෙන “ලද ධනය උපායෙන් රක්‍ෂා කළ මනා වේ දැ”යි සිතා එ තැන නොරඳා වහ වහා පලා ගොස් ඔරු කුලීයට අටමස්ස දී ඔරුවට පැනනැඟි මතු තමන් වහන්සේ සද්ධර්‍මගඩ්ගාවට බස්නාට දෘෂ්ටාන්ත පෑවා සේ එ ගං මැදට වැද ගිය සේක.

ඉක්බිත්තෙන් දෙවිදත් තමාගේ ගෙට ගොස් සුන් බුන් වළලු අවුත් කල් යවා පියා කැබලි වළලු ගණනක් හැරගෙන දිව දිව අවුත් එ ගෙට වැද “වැළි තොප දුක්පත් බැවින් මස්සක් වටිනා දෙයකුත් දීගත නොහෙන බැවින් මින් වළලු ගණනක් හැරගෙන අර තලිමාල්ල දීපියව, අපගේ ගෙයි කෙල්ලෝ කීපදවසක් කා දමා පියති” යි මායම් කී ය. එ බසට දෙපුතුමවු ඕහට නොඑක් පරුෂ බැණ “කොල චණ්ඩාලයකුත් නොවටිනා සොර වෙළෙඳ! තා මස්සකු ත් නො වටිති යි කී තලිය ලක්‍ෂයක් වටී ල, තට ස්වාමිදරුවකු බඳු වූ ධර්මිෂ්ට වෙළෙඳාන කෙනෙක් ඒ දැක අපට මසු දහසක් දී අප අතින් ම ඉල්වාගෙන ගියහ. උන් අපට දුන් අනැඟි වූ නො එක් බඩු බලගැ”යි කියා බිණූහ. එ බසට දෙවිදත් යටි ගුල බලා ආදි තුබූ තැන තලි ය නො දැක උපන් මහා ශෝකයෙන් කඹුරුසමක් මැඩපුවා සේ සුස්මක් ලා පියා “එ බඳු වූ ලක්‍ෂයක් ධනයෙන් පැරද ගියෙමි” යි උපන්නාවූ ධනශෝකයෙන් උමතු ව තෙමේ තමා බවු නො දැන අත තුබූ දහසක් අගනා බඩු එම ගේම බහා හින තුබූ කඩ ද දමා උමතු වූ ශුනකයකු සේ අපගත වස්ත්‍රයෙන් පළම්දඬ අමෝරා ගෙන බෝසතුන් පසුපස්සේ ගං තොටට දිව බෝසතුන් අසුකොට ගත නොහී “කොල තොටි ය! තුලු දුන් අටමස්සට මම සොළොස් මස්සක් දෙමි, ඔරුව ආපස්සේ පදුව” යි කී ය. තොටියා එ බසට ආපස්ස බලා ඔහු නග්නයෙන් පොල්ලක් කර තබාගෙන වියරු හුණු ආකාරයෙන් සිටියා දැකැ බසට සරු නො කොට ඔරුව පැද බෝසතුන් එ තෙර කෙළේ ය.

දෙවිදත් සසර දී බෝසතුන්ට වයිර කිරීම

එ වේලෙහි දෙවිදත් බෝසතුන් කෙරෙහි ආඝාත බැඳ මහත් වූ ක්‍රෝධයෙන් දත් කකා “මෙ බඳු ධනහානියක් කොට මාගේ රන්තලිය හැරගත්තා ජාති ජාතියෙහි නසම්වයි, කිසි කලෙකත් තා දුටු දුටු විටෙක තා කෙරෙහි මාගේ ක්‍රෝධයෙක් මුත් කරුණාවෙක් අහසට පොළව සේ දුරු වේව” යි කිය කියා ධන ශෝකයෙන් එ කෙණෙහි ම ළය පැලී මිය එ තැන්හි ම පස් කඳ හෙළීය.

බෝසතාණන් වහන්සේ ද මොහු කරන ප්‍රාර්ථනාව අසා ඔහු ළය පැළි මළ සේ දැක, ඔහු කෙරෙහි උපන් මහ කුළුණු ඇති ව “තෝ මා නසයි නම් මම තා නො නසම්ව යි, තාගේ ක්‍රෝධාග්නි මාගේ මෛත්‍රි ජලයෙන් නිවම්වයි තෝ තාගේ ද්වේෂයෙන් මාගේ ඇඟ මස් කඩ කඩ කොට කපයි නමුත් එ දවස් මම මාගේ ක්‍ෂාන්ති පාරමිතාව කුළුගනිම්ව යි, තෝ යම් දවසෙක මාගේ අඹුදරුවන් ආදිය උදුරා බැඳගෙන ගියේ නමුත් එ දවසු දු දානපාරමිතාව කුළුගනිම්ව යි යනාදීන් තෝ මට අනර්ථයක් කෙළෙහි නම් මම් මාගේ පාරමිතාර්ථ සිද්ධියෙන් වැඩක් ම සාදා ගනිම්ව යි, දැන් මා තා කෙරෙහි කළාවූ මෛත්‍රිය යම බුදුබව මට සාදාදීලව යි කියා සම්‍යක් ප්‍රාර්ථනා ම කොට ගත්සේක. එ දවස් කළාවූ ද්වේෂයෙන් බුදු වූ දවස් දක්වා දෙවිදත් බුදුන්ට වෛරී වී ය යි දතයුතු.

සසර ඇවිදිනා කල ත් ඔහු බුදුන්ට අවැඩක් ම සිතූ නියාවත්, ඔබට අනර්ථයක් නුවූ නියාවත්, මොහු තමාගේ ද්වේෂයෙන් ම තමා ම නට නියාව ත්, මේ මා මතු කියන ජාතිභේද කථාවෙන් අසා දැන සත්පුරුෂයන් විසින් අනුන් කෙරෙහි ද්වේෂයක් නො කොට සංසාර සාගරයෙන් ගැළවිය යුතු.

නළපාන ජාතකයෙහි දෙවිදත් අති ක්‍රෝධයෙන් මිය මහා වන මධ්‍යයෙක විලෙක උදක රාක්‍ෂස ව ඉපද විල දිය සඳහා බටු බටුවාවූ බොහෝ ප්‍රාණීන් අල්ව අල්වා ගෙන සල්ව සල්වා කා බොහෝ පවුරැස් කෙරෙයි. මාගේ ශ්‍රී මහා බොධිසත්ත්‍වයෝ ඒ ජාතියෙහි අසූ දහසක් වඳුරන්ට රජ ව ඉපැද ඒ වෙනෙහි ඇවිදිනා සේක් ඔහුගේ විලට පැමිණ බල බලා සිටියදී ම හුණුදඬු තුඩ තබාගෙන ගොඩ සිට ම සිත් සේ පැන් උරා බී අසූදහසක් නෑයන් හා සමඟ ජලස්නානය කොට වැඩිසේක. දෙවිදත් ‘මාගේ මේ සතුරා හා නෑයන් අද සිත් සේ කාපිය නුහුනුයෙමි” යි සුසුම් ලලා අන්තර්ධාන වි ය. මෙසේ ඒ ජාතියෙහි දු රාක්‍ෂසව ඉපැද පවා ඔබ නසා ගත නුහුනුයේ ම ය. එ දවස් ඔබ කළාවූ වික්‍රමය කල්පාන්තය දක්වා පවතිමින් සිටියේ ම ය.

තව ද: කුරුඞ්ගමිග ජාතකයෙහි ස්වාමිදරුවන් කුරුඞ්ග නම් මුවරජ කල දෙව්දත් රෞද්‍ර වූ වැදිකුලෙහි ඉපැද ප්‍රාණඝාත කොට කොට වෙනෙහි ඇවිදිනේ බෝසතුන් දැක “මේ මාගේ සතුරා කවර දවසෙක මරා ඇඟමස් සිත්සේ පළහා කාපියම් දෝ හෝ” යි සිතනුයේ බෝසතුන් ඵලාඵල අවුළා කන ගස්වල උඩ මැසි බැඳ එහි සැඟවී හිඳ රාත්‍රියෙහි නිඳි වරා යන එන මඟ උගුලු ලා වෙහෙසෙනුයේ තෙමේ ම වෙහෙසී විඩා වූ බව මුත් බෝසතුන් නසාගත නුහුනුයේ ම ය.

තව ද: මහාශීලව ජාතකයෙහි ස්වාමිදරුවන් මහා ශීලව නම් රජ ව, දශරාජ ධර්‍මයෙන් රාජ්‍ය ය කරන කල්හි දෙව්දත් දුෂ්ට වූ අමාත්‍යව ඔබ නිසා ම වසනුයේ, ඔබගේ ම පුරෙහි අසු ව තමා නො මරා ඇරපු කල්හි තවත් ඔබට ම විනාශ ය යොදනුයේ, කොසොල් රජහු කරා ගොස් ඔහු උගන්වා ගෙන, රජ පිරිස් ගෙන, පෙරළා අවුත් බෝසතුන්ගේ රාජ්‍යය ගෙන නිරපරාධ වූ බොධිසත්ත්‍වයන් හා දහසක් ඇමැතියන් කට පමණක් වළ තළවා අමුසොහොන්හි ලවා මහත් වධ කරවා පසුව බෝසතුන්ගේ ගුණ දත් දෙවියන් ස්වකීය වූ රාජ්‍ය ය ගෙන දුන් කල්හි මේ තෙමේ ම තමාගේ නුගුණ දත් තමා ම ගෙනා සතුරන් විසින් අතින් පයින් තළා දමන ලදු වි ය. ස්වාමිදරුවෝ ද ඒ ජාතියෙහි මෛත්‍රී පාරමිතාව කුළුගත් සේක් ම ය.

තව ද: වානරින්ද ජාතකයෙහි මේ මාගේ බෝධිසත්ත්‍වයන් වහන්සේ වඳුරුව ඉපැද ගඞගාවක් සමීපයෙහි වාසය කොට සතර ධර්‍මයෙන් ජයගත් සමයෙහි, මෙම දෙව්දත් එම ගඟ මහඔරුවක්සා කිඹුල් ව ඉපැද බෝසතුන් කමි යි උත්සාහකොට ගලතල පිට සැඟවී වැදහෙව තමා කටට පැනපු දා පවා කාපිය නුහුනුයේ ම ය.

තව ද: කුම්භිල ජාතකයෙහි දෙව්දත් කිඹුල් ව ම ඉපැද වඳුරු ව උපන් බොධිසත්ත්‍වයන් තමා පිට හිඳුවාගෙන ගංමැදට ගෙන ගොස් පවා එ දවසු දු නසාගත නුහුණුයේ ම ය.

තව ද: තයො ධර්‍ම ජාතකයෙහි දෙවිදත් අසූදහසක් වඳුරන්ට රජ ව උපන, බෝසතාණෝ ඕහට පුත්‍ර ව උපන් සේක. එ කල පවා බෝසතාණන් සනාන පසාරයෙන් මරමියි උත්සාහකොට එසේ ත් නසාගත නො හී දියරකුස්සා ලවා කවා මරවා පියමියි සිතා රකුසුවිලකට යවා එසේ ත් නසාගත නො හී, පසුව බෝසතුන්ගේ ඓශ්වර්‍ය්‍ය වඩ වඩා ගෙන යත් යත් තෙමේ ම ශෝකයෙන් ළපැළී මළේය. පසු ව බෝසතාණෝ අසූදහසක් වඳුරන්ට රජ ව ස්වස්ථයෙන් වාසය කළ සේක.

තව ද: දුම්මේධ ජාතකයෙහි දෙව්දත් මගධරට රජ ව ඉපැද බොධිසත්ත්‍වයන් සර්‍වාඞ්ග ධවල ව තමහට මඟුලැත් ව උපන් සමයෙහි පවා, බෝසතුන් පර්‍වතයක් මුදුනෙන් හෙළවා මරමි යි උත්සාහ කොට එ කෙණෙහි බෝ සතුන් කර්‍මජ වූ සෘද්ධි ලදින් ආකාශයට නැඟීගිය කල්හි තෙමේම හස්තිවාහනයෙන් පිරිහී පරිභවයට පැමිණියේ ය.

තව ද: අසම්පදාන ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් ශඞ්ඛ නම් ධනසිටුව දිළිඳුව ආ තමාට සතළිස් කෙළක් සම්පත් දුන් කල්හි තෙමේ ම තමාගේ රට ගොස් පිළිය නම් සිටුව සම්පත් විඳිනේ පසුව බෝසතුන් එ ම ජාතියෙහි දුඃඛිත ව තමා කරා ගිය දා බොල් වී තිඹක් දී අසත්පුරුෂ ධර්මයෙහි කෙළ පැමිණියේ ය.

තව ද: ගොධ ජාතකයෙහි ස්වාමිදරුවන් ගොධරාජව ඉපැද හීනයන්ගේ විශ්වාසයෙහි ආදීනව දක්වා වදාළ සමයෙහි දෙවිදත් කටුසු බොහොඬ ව ඉපැද පවා ඔබ නසමි යි උත්සාහකොට ගෝවැද්දන්ට බිලය පෑ දුම්සළා දෙවා නො එක් උත්සාහ කොටත් ඔබ නසාගත නොහී තෙමේ තමා දිවි නසාගත.

තව ද: සිගාල ජාතකයෙහි මේ මා ගේ බොධිසත්ත්‍වයන් වහන්සේ සිගාල රාජන්ව ඉපැද සුසාන භූමියෙහි කාරණාකාරණ දන්නා නුවණින් වාසය කරනසේක්. දෙවිදත් සුරාධූර්තව ඉපැද බෝසතුන් දැක දැහැව මායමකින් මරමියි සිතා පොල්ලක් අතින් ගෙන සොහොන්මැද ඇසපෙරළා, දත නියාගෙන, මළ මිනිසකු සේ වැදහොත්තේ ය, මාගේ බොධිසත්ත්‍වයෝ සොහොන්වල කඬ රෙදි බලා ඇවිදිනා තපස්වී රාජයකු සේ ගොදුරු බලා ඇවිදිනාසේක් මළ මිනියෙකැයි මොහු කරා පැමිණ අත තුබූ පොල්ල දැක “මළ මිනී අත පොලු තිබෙන්නේ කාරණයෙක් නො වෙයි, අපට මුන්ගේ මස් නො කැමැත්තේ ය” යී ආපස්සේ නික්මුණු සේක; දෙවිදත් පොල්ල දමාලා ගසා ත් වරදවා තෙමේ ම පැරද ගියේ ය.

තව ද: චුල්ලපදුම ජාතකයෙහි ස්වාමිදරුවන් පදුම නම් රජ ව රජ ය හැර ගොස් තපස් කරන කල, අත් පා කන් නාසා කපා තමා දියට දමාපී කල්හි දියෙන් ගොඩ නඟා වණ සුව කොට බෝසතුන්ගෙන් ඒසා සංග්‍රහයක් ලදින් පසුව ස්ත්‍රි ය උගන්වාගෙන බෝසතුන් සෙලින් හෙළවා දුර්ජනකම් කළාවූ කන් නාසා කොටා නමු දු මෙම දේවදත්තයා ම ය.

තවද: කාෂාව ජාතකයෙහි ස්වාමිදරුවන් අසූදහසක් ඇතුන් හා සමඟ පසේ බුදුන්ට උපස්ථානකොට පාරමිතා භූමියෙහි ඇවිදිනා කල දෙවිදත් හස්තිමාරක වැදිකලෙහි ඉපිද පසේ බුදුන්ගේ වෙස් ගෙන, කඩුවක් ගෙන කෂාපිළිය යට සඟවා හස්ති මාර්‍ගවල සැඟවී සොර තපස්වෙසින් හිඳ පවා දිවි පමණින් උත්සාහ කොට බෝසතුන් නසාගත නුහුනුයේ ම ය.

තව ද: රොම ජාතකයෙහි ස්වාමිදරුවන් පරාපත යෝනියෙහි උපන්කල දෙවිදත් කූට ජටිලයෙක්ව “මේ පරවියා අල්වාගෙන මරාපියා මස් කා පියමි”යි නො එක් සොරමායම් කොට හසු කොට නුහුණුයේ ම ය.

තව ද: ජවසකුණ ජාතකයෙහි ස්වාමිදරුවෝ කෑරල ව උපන් සේක. දෙවිදත් එම වෙනෙහි සිංහව ඉපැද නොයෙක් සතුන් මරා මස් කනුයේ මස්ඇටක් උගුරෙහි සරස්ව මහත් වූ වේදනාවෙන් මරණප්‍රාප්ත ව කට දල්වා ගෙන ආන ආනා හොත්තේය. එ වේලෙහි බෝධිසත්ත්‍වයෝ මොහු කෙරෙහි උපන් මහ කුළුණු ඇති ව “යහළු! මේ කිමෙක් දැ”යි විචාරා මස් ඇට ගෙලෙහි ගත් පවත් දැන මොහුගේ ආකාරයෙන් අසත් පුරුෂයෙකු බව ත් දැන දඬුකඬක් තුඩින් ගෙන ඔහු දෙතල්ලෙහි අවුළුවාලා යටට වැද ඇට ගසා හළ දෑය. දෙවිදත් ඇට ගැළවුනු බවු දැන “මා බඩ දළ ත් දැඩි ය, සත් දවසක් ගොදුරු නොලත් හෙයින් සතකු දිව අල්වා ගන්ට බලත් නැත, එතෙකින් මොහුගෙන් මට කම් නැත, කටට වන්නහු නො හරිමියි, දෙහනු ගසාලීය. එ කෙණෙහි දඬුකඩ යටි තල්ල හා උඩුතල්ලෙහි හැනී කීලයක් සේ සිට ඉනු දු වේදනා විය. බෝධිසත්ත්‍වයෝ මොහුගේ මේ කාරණ ය දැක යන ගමනෙහි ම පයින් දඬුකඩ ගසා හැර පිටතට පලා ගොස් “යහළු! මා නිසා එ තෙකින් දිවි ලදුව, මට කුමන සංග්‍රහයක් කරවුදැ”යි විචාළ දෑ ය. දෙවිදත් “මා වැනි සිංහයක්හු කටට වැද තා දිවි ලද්දේ ම එක් උපකාරයෙක් නොවේ දැ යි” යි අසත්පුරුෂ බස් කී ය.

තව ද: සාලික ජාතකයෙහි මාගේ බෝධිසත්ත්‍වයන් සත් හැවිරිදි කුමාර ව ගසක්මුල වැලි කෙළිනා සමයෙහි දෙවිදත් වෙද කුලෙහි ඉපැද මඟ යනුයේ බෝසතුන් දැක උපන් මහා ක්‍රෝධයෙන් ඔබ නොබ බලනුයේ ගස උඩ බිලයෙක්හි කරපොවා හොත් නයකු දැක “නයි ලවා මොහු කවා මරවා පියමි”යි සිතා “පැටව! තෙල බිලයේ කර පොවාලා හෝනා සැළලිහිණි පැටියන් අල්ලාගෙන නො කෙළින්නැ”යි කීය. බෝධිසත්ත්‍වයෝ ඔහුගේ වඤ්චාව නො දැන සැළලිහිණියෙකැයි යන සිතින් ගස උඩට නැඟි නයිගේ ග්‍රීවය අතින් අල්වා ගෙන සුස්මාපු හඬින් නයා බව දැන “අත හළ හොත් මා අත ම කඩා කයි” සිතාලා නයිබොටුව මිරිකා ම අල්වාගෙන නයි ඛිලයෙන් ඇද ඒ වෙදු කරපිටට දැමූ දෑ ය. නයා ඔහු බොටුවේ ම දරණ ලා ඒ ඒ තන්හි කර වටකොට කඩා කා එ තැන්හි ම මරා හෙළීය. මෙසේ බෝසතුන් නසමි යි ඒ ජාතියෙහි දු තෙමේ ම නට,

තව ද: ස්වර්ණ කර්කටක ජාතකයෙහි ස්වාමිදරුවන් බ්‍රාහ්මණ මහාසාරව කෙත්වත් බලන්ට ගිය දා දෙවිදත් තෙමේ කපුටු ව නයක්හු ලවා බෝසතුන් කවා එදාත් මරාගත නුහුනුයේ ම ය. තෙමේ ම කකුළු නළින් බොටුව සිඳුනා ලදුව නයි හා සමඟ ම දිවි නසාගත.

තව ද: පරන්තප ජාතකයෙහි දෙවිදත් පරන්තප නම් රජ ව පර පිහිඩාවෙන් අධර්මයෙන් රජ කරනුයේ බෝසතුන් තමහට පුත් ව උපන් කල්හි “තමහට ආ සතුරන් කරා බෝසතුන් යවා මරවමි”යි උත්සාහ කොට යවා ත් බෝසතාණන් නසා ගත නුහුණුයේ මය. පසු ව තෙමේ ම ඒ සතුරන් අත නස්නා ලදුව ජීවිතයෙනුදු රාජ්‍යයෙනුදු විනාශයට පැමිණියේ ම ය.

තව ද: කුක්කුටක ජාතකයෙහි දෙවිදත් බරණැස් රජ ව ඉපැද ස්වාමිදරුවන් වලිකුකුළුව උපන් කල පවා දෙවිදත් පියා උකුසුව ඉපැද පවා බෝසතුන් අල්වා ගනිමි යි උත්සාහ කොට නසාගත නො හී තෙමේ විනාශයට පැමිණියේ ම ය.

තව ද: මහාපදුම ජාතකයෙහි දෙවිදත් බරණැස් රජ ව ඉපැද අවිචාරමත්ව රාජ්‍යය කරනුයේ මහාපදුම නම් කුමාර ව බෝසතුන් තමහට ම පුත්‍ර ව උපන් කල්හි දුෂ්ට වූ ස්ත්‍රිය කී බස් ගිවිස රත්පියුමක් වන් මුවපියුමක් ඇති ඒ පියුම් නම් බෝසතුන් කෙරෙහි උපන් මහා ක්‍රොධයෙන් පුත්‍රප්‍රේමයක් නො සිතා බෝසතුන් දෙකකුල් ගෙන ශතපුරුෂ ප්‍රපාතයෙන් අධඃශීර්ෂකොට දමාපී ය. එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ දුර්ජන වූ ඒ ස්ත්‍රිය කෙරෙහි ද, ගලින් හෙළන පියාණන් කෙරෙහි ද, සියලු සතුන් කෙරෙහි ද සම මෙත් කළ සේක. එ කෙණෙහි ඒ පර්‍වතයෙහි අරක් ගත් දේවතාවා උඩට දැමූ පුතකු අත හෙළවා ගත් මවක සේ බෝසත් දෙ අත්ලෙහි හෙළවාගෙන උරපිට වතුරුවා දිවපහසින් නිදිගන්වා, එම පර්‍වතයෙහි වසන දිව්‍ය නාගරාජයාගේ එණ ගර්භයට වඩාලීය. නාරජ බෝසතුන් දැක මහාප්‍රේමයෙන් තමන්ගේ දිව්‍යසම්පත්තීන් අර්ධයක් දී රක්‍ෂා කෙළේය. සැරියුත් මහතෙරුන් වහන්සේ වැනියන් එම පර්වතයෙහි දිව්‍යරාජන් ව උපන් කල අනඳ මහ තෙරුන් වහන්සේ වැනියන් එහි ම නාග රාජ ව උපන් කල මාගේ ස්වාමිදරුවන් දෙවිදත්හු වැනියෝ කෙසේ නම් නසා ගනිද්ද?

තව ද: අම්බ ජාතකයෙහි ස්වාමිදරුවන් චණ්ඩාල වැ ඉපැද බ්‍රාහ්මණ කුලයෙහි උපන් දෙවිදත්හට ආචාරී වූ සමයෙහි, තෙමේ ජාතිමානයෙන් බෝසතුන් වළහා අනිකක්හු නම කියා ගුරුද්‍රෝහි කොට දිව්‍යාම්‍ර ඵල ගන්නා වූ එබඳු වූ අනර්ඝ වූ දිව්‍යමන්ත්‍රයෙකින් පිරිහී එම ශෝකයෙන් ජීවිතයෙනු දු පිරිහී ගිය.

තව ද: රූරුමිග ජාතකයෙහි ස්වාමිදරුවන් රන්වන් මුව රජ කල දෙවිදත් දියෙහි මියන්නේ බෝසතුන් නිසා දිවි ලදින් ඔබ කී මගම ජනපද ගොස් ඔබ වසන තැන් බරණැස් රජුට කියා, ඒ සා රජ පිරිසක් ගෙන බෝසතුන් කරා අවුත් ඒ සා භයක් උපදවා බෝසතුන්ගේ වික්‍රම දැක්වූ බව මුත් තමාගේ ම නුගුණ දැක්වූ බව මුත් ඔබට අවැඩක් කොටගත නුහුනුයේම ය.

තව ද: සොමනස්ස ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් බරණැස් රජහට පුත්‍ර සොමනස්ස නම් රාජකුමාර ව උපන් කල්හි දෙවිදත් කූට ජටිලව, රජ්ජුරුවන් හා “තොප පුතු මරව”යි නො එක් දුර්මන්ත්‍රණ කොට බෝසතුන් නසා ගත නුහුනුයේ ම ය. තෙමේ ම බෝසතුන් ගුණ දත් අමාත්‍යයන් විසින් මරා දිවි නසන ලදුයේ වී ය.

තව ද: චම්පෙය්‍ය ජාතකයෙහි ස්වාමිදරුවන් චම්පෙය්‍ය නම් නාගරාජන් ව එක විෂධූමයෙකින් මුළුලොව දවාපියන ආනුභාව ඇති ව පවා තපස් කරන සමයෙහි දෙවිදත් අභිතුණ්ඩික ව ඉපැද ඔබ දැක අල්ලා ගෙන දියබරණකු සේ කෙළවා නො එක් නිග්‍රහ කරනුයේ ඔබගේ පාරමිතාවට අන්තරාය කොට ගත නුහුනුයේ ම ය.

තව ද: ඡද්දන්ත ජාතකයෙහි දෙවිදත් සොණුත්තර නම් වැදි ව ඒ සා උත්සාහයෙකින් හිමාලය වනයට ගොස් බෝසතුන් විද මැරීය. බෝසතාණන් වහන්සේ එවේලෙහි පවා ඔහු කෙරෙහි සිත නො කලඹා ඔහු ම මුල්කොට දානපරමාර්ථ පාරමිතාව සිද්ධ කොට ගෙන බුදුබව පත පතා දළ දෙක කපා දන් දුන් සේක.

තවද මහා කපි ජාතකයෙහි ස්වාමිදරුවන් අසූදහසක් වඳුරන්ට රජ ව, මී අඹගස හසු ව බරණැස් රජුගේ දුනුවායන් සිසාරා සිටිය දී සියලු නෑයන් හින වැලක් බැඳ ගළවා ඥාත්‍යථී චර්යායෙහි මුදුන් පැමිණි දා දෙවිදත් එ වක බෝසතුන්ට සේවකව වසනුයේ එ දා ඒ අවකාශය දැක බෝසතුන් පිටට පැන දෙපයින් පිට මැඩ වසට කඩා ජීවිත හානි කොට ඔබ බලයෙන් ගැළවී පලා ගිය. බෝසතාණන් වහන්සේ ද ඔහු දෙපයින් වසට තළන වේලෙහි ද ද්වේෂයක් නොසිතා තමන් වහන්සේගේ පාරමිතා නමැති ප්‍රාසාදයෙහි කූටසන්‍ධිග්‍රහණයට පහරණ අතකුළු පහරක් කොට සිතා බුදුබවම ප්‍රාර්ථනා කළ සේක.

තව ද: භූරිදත්ත ජාතකයෙහි මේ මාගේ ස්වාමිදරුවන් භූරිදත්ත නම් නාරජ කල්හි දෙව්දත් වැදිපුත්‍ර ව ඉපැද බෝසතුන් දැක උපන් මහාක්‍රොධ ඇති ව, බෝසතුන් අල්ලා ගෙන ඉස සිසාරා බිම අපුළා විළුඹෙන් තුන් වාරයක් මැඩ කට ලේ වගුර වගුරා දළ කඩා හැර නො එක් පීඩා කෙරෙයි. මාගේ ස්වාමිදරුවෝ, “අද මම ක්‍රෝධයක් කෙළෙම් නම් මාගේ එක දත්හස්සෙකින් ගියා වූ එක විෂ බින්‍දුවකින් මොහු තබා මුළුලොවත් දවාපියමියි මොහුගේ ක්‍රෝධයට මම ත් ක්‍රෝධ කෙළෙම් නම් මොහුගෙත්, මාගෙත් වෙනසෙක් කිම් දැ”යි සිතා ඇකයේ හිඳ අතින් මිටින් ගසන පුතක්හු කෙරෙහි පහරින් පහරට සනා වඩන පියාණන් කෙනකුන් සේ මොහු කෙරෙහි මෛත්‍රී ම කළ සේක, අමෛත්‍රී නො කළ සේක.

තව ද: මණිචොර ජාතකයෙහි දෙවිදත් අධර්මිෂ්ඨ වූ රජ ව, නිරපරාධ වූ බොධිසත්ත්‍වයන් මැණික් මායමකින් සාපරාධකොට බෝසතුන් ඉස කප්පමි යි සිතා තමා ඉස කප්වාගෙන බෝසතුන්ට රාජ්‍යය දී තෙමේ ගොස් මහා නිරාවළ හින.

තව ද: ධර්‍මධ්වජ ජාතකයෙහි බෝසතුන් ධර්මධ්වජ නම් පණ්ඩිත ව ධර්මධ්වජය නඟා ලොකාර්‍ථ කළ සමයෙහි ද, දෙවිදත් කාළ නම් සේනාධිපතිව බෝසතුන්ට නො එක් මරණ ප්‍රයෝග කොට ඔබ මරාගත නුහුනුයේ පසුව බොහෝ දෙන තමාම අල්වා ගෙන මරා දමාපිහ.

තව ද: උපාහන ජාතකයෙහි ස්වාමිදරුවන් හස්ත්‍යාචාර්‍ය්‍ය කල දෙවිදත් ඔබ අතින් ශිල්ප ඉගෙන ඔබ හා ම ශිල්පයට වාද කොට ගුරුද්‍රෝහ කොට පැරද එ කෙණෙහි ද බොහෝ දෙනා විසින් අතින් පයින් තැළුම් ලදින් මිය අපාය ගත වී ය.

තව ද: ගුත්තිල ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් ගුත්තිල නම් ගන්ධර්‍ව කල ද මෙම දෙවිදත් මූෂිල නම් ගන්ධර්‍ව ව, ගුරුන් හා වාද කොට තෙමේ ම පැරද රජපිරිස අතින් පයින් තැළුම් ලදින් මිය ගොස් අපාය ගත විය.

තව ද: තිත්තර ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් වටු ව ඉපිද පවා වෙදත්‍රය නිමවා දැන දිසාපාමොක් ආචාරිධුරයෙහි සිට පන්සියක් දෙනාට ශිල්ප දුන් සමයෙහි දෙවිදත් කූට ජටිල නම් සොර තාපස ව ඇවිදිනේ බෝසතුන් දැක, එ දවස් රන්තලියෙහි කළා වූ ද්වේෂය මෙ දවස් දක්වා නුසුන් හෙයින් අවකාශයක් ලදින් බෝසතුන් මරා සිත් සේ ඇඟමස් කා එ කෙණෙහි ම, මතු ඔබට ම අගසවු වන ව්‍යාඝ්‍රරාජයා විසින් මරණ ලදුව එකෙණෙහිම අපාය ගත වී ය.

තව ද: ඛණ්ඩහාල ජාතකයෙහි ස්වාමිදරුවන් චන්ද්‍ර නම් රාජකුමාර කල දෙවිදත් තෙමේ ඛණ්ඩහාල නම් පුරෝහිත ව බෝසතුන් මරා යාග කරමි යි එ දවසුද නො එක් උත්සාහ කොට ඔබ නැසිය නුහුනුයේ තෙමේ ම මහජනයා විසින් නට.

තව ද: මහ උමංදායෙහි ස්වාමිදරුවන් මහෞෂධ නම් මහ පඬි ව ලොව බුද්ධෝත්පාද කාලයක් සේ කොට නුවණ නමැති මහ ලියයෙහි මල් රොන් සළා දෙවූ සමයෙහි මෙම දෙවිදත් කේවට්ට නම් පුරෝහිත බමුණු ෙව අටළොස් අක්ෂෞහිණී මහ සෙනගක් ගෙන අවුත් ඔබ වැඩහුන් නුවර සිසාරා හිඳ සාරමසක් මුළුල්ලෙහි නො එක් යුද්ධ කරවා නසා ගත නො හී ධර්‍මයුද්ධයෙක ජය ගනිමියි ඔබ කරා අවුත් තෙමේ ම පැරද නළලත් ලේ ලවා ගෙන ගොස් පසු ව විවාහ මන්ත්‍රණයෙන් ඔබ මරවමි යි සිතා අවුත් තෙමේ ම පැරද පතුපිට පහරකා දිවිලෙනකට වන් මුවපොල්ලකු සේ භයින් වෙවුලා ම, ගොස් නැවත තමාගේ නුවරට බෝසතුන් උපායෙන් ගෙන්වාගෙන මරවමියි උත්සාහ කොට නුවරට වැඩි දා ම තමාගේ පාය බිඳිනා වේලෙහි තෙමේ ම හුණපත්තෙන් පහර කෑ ය. ලක්‍ෂයක් අගනා රන්තලියට ඔබට වෛරව යමක් කරන්නා තබා ඔබටම තමා අතින් ලක්‍ෂයක් අත්ලස් දී තමාගේ ගෙය පමණක් ගළවා ගෙන මෙසේ ඒ ජාතියෙහි ත් බොහෝදෙනා අතින් අපහාස ම ලද.

තව ද: මහාපිඞ්ගල ජාතකයෙහි මෙම දෙවිදත් මහපිඞ්ගලනම් රජ ව ජම්බුද්වීපයෙහි දොර දොර හුණු සෙණක් සේ බොහෝ දෙනාට නිග්‍රහ කොට, අධර්මයෙන් රාජ්‍යය කෙරෙයි. සොළොස් දහසක් බිසෝවරු මොහු ඇස හුණු කසළක් සේ නුරුස්සති. රජ යුවරජ මහ ඇමැතියෝ මුයෙහි තිබූ බතින් සැපීගිය අකුරක් සේ ඔහු නො කැමැතියහ. රාජ්‍යවාසී සමයේ තමන් තමන් පය ඇනුණු කටුවක් කොට සිතති. එ කල මාගේ බොධිසත්ත්‍වයෝ ගිනිවළෙකින් මහ පියුමක් නැංගා සේ මෝහට පුත්‍ර ව ඉපැද බොහෝ දෙනා ඇසට රසාඤ්ජනයක් සේ ප්‍රිය වූ සේක. මෙ තෙමේ බෝසතුන්ගේ ඓශ්වය්‍ය වඩ වඩා ගෙන යත් යත් උපන් ශෝකයෙන් තෙමේ ම මිය ගොස් නරකයෙහි වැටීගියේ ය. එ කල රාජ්‍යවාසි මොහු දවා අළු හස්කොට බෝසතුන් ඔටුනු පළඳවා සිංහාසන මතුයෙහි හිඳුවා මොහු මළ සතුටින් උත්සව මඟුල් කෙරෙති. මොහුගේ ද්වාරපාලයා මිනී මළ තැනක් සේ මහ හඬින් හඬයි, බොහෝ දෙන මොහු එකලාවම සිට හඬන්නහු දැක “කොල! මේ කුමන විස්මයෙක් ද, පිඞ්ගල රජු මළ දවස් පටන් ගෙන හැම දෙන සන්තෝෂයෙන් කති, බොති, නටති, ගී කියති, දොම්නසක් ඇති කෙනෙක් නැත, රජු තට දීපු සම්පත් බොහෝම දැ”යි විචාළහ.

ද්වාරපාලයා කියනුයේ පිඞ්ගල රජුට ශෝකයෙන් නොවෙයි මා හඬන්නේ, පිඞ්ගල රජ මේ රජගෙට තමා වදනා යම් ම විටෙක ද පිටත් වන යම් ම විටෙක ද මා හිස්මුදුනෙහි ටොකු අටක් අටක් බැගින් ඇන මහත් වූ වෙදනා කෙරෙයි. ඔහු මළ දවස් පටන් ගෙන දැන් මා හිස සැතපී ගොස් මා ම රාජ්‍යය ලද්දා කොට සිතමි. ඒ මෙ තෙකට ගොස් නරකයෙහි වැටී යෙයි. තමා ගුණ නපුරු හෙයින් මට සේ ම යමයනුදු ඔළුවෙහි ටොකු අනිති, යමපල්ලු ඔහු අතින් ටොකු කා විඩාව පියා ‘අපගේ නරකයට මොහු නො කැමැත්තේ’යි නැවත ගෙනවුත් මෙම රජගෙහි ලා පියා යෙද්දෝ හෝ දෙවනු වත් ඔහුගේ දැක්මෙක් මට සම්ප්‍රාප්ත වේ දෝ හෝ යි මා කෙරෙහි ම කළ ශෝකයෙන් හඬමි”යි කී ය. එ කෙණෙහි මහරජ පිරිස ඔල්වරසන් දී මහ කෙළි කෙළියහ. මෙසේ දෙවිදත් ඔබ කෙරෙහි ද්වේෂ කොට තෙමේ මිය පවා බොහෝ දෙනා අතින් කරුණා නො ලදුයේ ම ය.

තව ද: මහා වෙස්සන්තර ජාතකයෙහි දෙවිදත් ජූජක නම් බුමුණු ව ඒ සා මහත් පුත්‍රදානයෙහිදී ත් නො එක් පරුෂ වාක් කියා ත් ඔබ දැක්ක දී දරුවන් මරාත් ඔබ සිත කලඹා ගත නුහුනුයේ ම ය. පසුව තෙමේ ම ජීවිතයෙනු දු පිරිහිණ, අමිත්ත තාපනා නම් අඹුවගෙනු දු පිරිහිණ, ඒ සා මහත් ධන සමූහයෙනුදු පිරිහිණ. ස්වාමිදරුවෝ වූ කලි තමන් වහන්සේගේ නො එක් ජාති නමැති නවරුවන් වැලයෙහි රුවන් මොර ඇටෙකින් මරා ඝර්‍ෂණය කොට ලූවා සේ, පාරමිතාවන් නිමවා සත්වාරයක් මහ පොළොව ගුගුරුවා දෙවියන් ලවා සත්රුවන් වැසි වස්වා මහත්වූ දාන කෝලාහල කොට එයින් වැඩ තුසී පුරයෙහි උපන් සේක් ම ය.

තව ද: සසර දෙවිදත්හු මහපොළොව ගිලූ ජාති අට නම් කවර? යත්; ශීලවනාග ජාතකයෙහි ස්වාමිදරුවන් ශීලව නම් ඇත් රජ ව වෙනෙහි එකලා ව තපස් කළ සමයෙහි දෙවිදත් දිළිඳු කුලයෙක ඉපැද කිසි කටයුත්තක් වල්වැද, වල්මත් ව, දිශා මූඪ ව, සත්දවසක් නිරාහාරව මරණ ප්‍රාප්ත වූ දා ඔබගේ ම කරුණාවෙන් ඒ වනයෙන් ගැළවී පසුව ඔබ කරා ම තුන් වාරයක් ගොස් දළ දන් ඉල්වා තුන්වාරයෙහි පොලු පොලු බැගින් දළ කපා තමහට දන් දුන් කල්හි අන්තවාරයෙහි මොහුගේ දුර්ජන භාරය දරාගත නො හී මහපොළොව පැළී සල්වා ගැල මහ නිරාවළ හිණ.

තව ද: ධර්‍මපාල ජාතකයෙහි දෙවිදත් මහප්‍රතාප නම් රජ ව තමහට ම දාව උපන් මාගේ බොධිසත්ත්‍වයන් ධර්‍මපාල නම් සත් මැසි කුමාර කල බෝසතුන් වඩාගෙන මෑණියන් වහන්සේ තමා දැක්ක දී උස උන්හ යි කිපී බෝසතුන්ට අසිමාලක නම් වධයක් යොදා අහසට දම දමා කඩු පහරින් සියලඟ කප කපා තූ තූ කොට ඒ සා රාජාඞ්ගනයෙහි මස් බිඳුයෙන්, ලේ බිඳුයෙන්, වදමල් කපා ඉස්නා සේ විසුරුවා පී ය.

මාගේ ස්වාමිදරුවෝ වසි කරවන දෙවිදත්හු කෙරෙහි ද, ඔහුගේ නියෝගයෙන් කඩුයෙන් සියලඟ පොලුගන්නා වධකයා කෙරෙහි ද, පියුම් පෙති සේ රාජාංගණයෙහි විසිර ගිය අතුල් පතුල් කන් නාසා අවුළ අවුළා සමහරක් හින ලාගෙන, සමහරක් තමන් ළෙහි තබා ගෙන. දරුශෝකයෙන් හඬා පෙරළෙන ඒ මෑණියන් වහන්සේ කෙරෙහි ද, මෙසේ වූ වධ විඳිනා තමන් වහන්සේ කෙරෙහි ද, සම වූ මෛත්‍රි කොට තමන්වහන්සේගේ ක්‍ෂාන්ති පාරමිතා නමැති මහ ගැල් කෙත්හි අද මාගේ වප් මඟුල් දිනයෙකැ යි සිතා වදාළ සේක. එකෙණෙහි ද මහපොළෝ පැළී ඔහු සල්ව සල්වා ගැල මහ නිරාවළ හින.

තව ද: ක්‍ෂාන්තිවාදී ජාතකයෙහි මේ මාගේ ස්වාමිදරුවන් ක්‍ෂාන්තිවාද නම් තාපස කල දෙවිදත් කලාබු නම් රජ ව ඔබ “ක්‍ෂාන්ති වාදිමි” කී බසට කිපී “අද කාගේ ක්‍ෂාන්තිය බලමි”යි දෑත් දෙපාකන් නාසා කප්වා කටු සැමිටියෙන් මරවා නො එක් වධ කොට “ක්‍ෂාන්ති වාදිමි”යි කියන බස හරවාගත නොහී, තව ද ක්‍රෝධය රඳවාගත නො හී දිව ගොස් ලෙහි තමාගේ විළුඹින් පහරක් ඇන්නේය. එවේලෙහි ද මාගේ ස්වාමිදරුවෝ ඔහු කෙරෙහි ද්වේෂයක් නො සිතා “මොහුගේ මේ විළුම් පහර නම් මීට ඒ වධයෙක් නො වෙයි. මාගේ ක්‍ෂාන්ති පාරමිතා නමැති මහමාලිගාවෙහි කූටසන්‍ධිග්‍රහණයෙන් ස්ථාවරත්‍වය පිණිස ගැසූ අත කුළු පහරක් වැන්නැ”යි ක්‍ෂාන්ති පාරමිතාව ම තර කළ සේක. එ කෙණෙහි දු දෙවිදත් මහ පොළොව පැළී සල්ව සල්වා ගැල් ගොස් නරක ගින්නට බත් වී ය.

තව ද: චෙතිය ජාතකයෙහි ස්වාමිදරුවන් කපිළ නම් මහා සෘෂි කල දෙවිදත් තෙමේ චෙතිය නම් රජව බෝසතුන් මලනුවන් කොට “කෝරකළඹයන් වැඩිමහලු කෙරෙමියි, බෝසතුන් බාල කෙරෙමි”යි ලොවට පළමු වන බොරු උපදවා ඵ කෙණෙහි ම ආකාශයෙන් බිමට වැටී මහපොළොව පැළී සල්ව සල්වා ගෙන ගොස් මහ නිරාවළ හින.

තව ද: චූලනන්දිය ජාතකයෙහි ස්වාමිදරුවන් වානර යෝනියෙහි ඉපැද මහා නන්‍දිය නම් වඳුරු රජ ව චූළනන්‍දිය නම් මලනුවන් හා සමග අන්ධ වූ මෑණියන්ට මෙහෙ කොට මාතුපට්ඨාන ධර්මය පූරණය කළ සමයෙහි දෙවිදත් වැදි ව වෙනෙහි ප්‍රාණඝාත කොට ඇවිදිනේ දවසෙක බෝසතුන්ගේ අන්‍ධ වූ මෑණියන් දැක විදිමි යි හී සැරයක් උරපුරා හයාගත. එ කෙණෙහි බෝසතාණෝ “මා මෑණියන් හැර පියව, මා ඇඟමස් ගනුව”යි කිය කියා මෑණියන් වහන්සේ පසුකොට ලා සිට ගත් දෑ ය. හෙතෙම දයාවක් නැති ව එම සැරයෙන් බෝසතුන් විද හෙළා අනික් සැරයක් හයා ගත. චූළනන්‍දිය නම් මලණුවෝද එසේ ම යාච්ඤා කොට “අප දෙදෙනාගේ මස් ගෙන අප මෑණියන් හැරපියව’”යි කියා හී පසට පැමිණියහ. උනුදු විද හෙළා අනික් සැරයෙකින් අන්‍ධ වූ වැඳිරි මැහැල්ල ද විද මෙසේ තුන්දෙනාම ජීවිත හරණය කොට එ දවසු දු මහ පොළොව පැළී ගොස් සල්ව සල්වා ගැල මහ නිරාවළ හින.

තව ද: ධර්‍ම ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් ධර්‍ම නම් දිව්‍යරාජ ව ඉපැද මුළුලොව ධර්මයෙහි පිහිටුවා ලොකාර්‍ථචර්යාව පූරණය කළ සමයෙහි දෙවිදත් කෙසේ දෝ අත වැරද ගිය කුශල ධර්‍මයෙකින් අධර්‍ම නම් දිව්‍ය රාජන් ව ඉපැද ලෝවැසියන් අධර්‍ම සමාදානයෙහි පිහිටුවා අවැඩින් යෙදී ඇවිදිනේ දවසෙක බෝසතාණන් හා “අධර්‍මය වැඩි ය, ධර්‍මය අඩුය”යි තෙමේ අධර්‍ම වාද කොට බෝසතුන්ගේ ධර්‍ම වාදයට පැරද එ කෙණෙහි දු ආකාශයෙන් බිම හී මහ පොළොව පැළී ගොස් මහ නිරාවළ හින.

තව ද: පණ්ඩර ජාතකයෙහි ස්වාමිදරුවන් ගරුඬරාජන් ව උපන් සමයෙහි දෙවිදත් අචේල නම් තාපස ව ගරුඬයන් දුටු කල නයින්ට අනර්‍ථ උගන්වා, නයින් දුටු කල ගරුඬයන්ට අනථි උගන්වා, මෙසේ දෙපක්‍ෂයට මිත්‍ර ස්වරූපයෙන් අමිත්‍රකම් කොට මෙසේ මිත්‍රද්‍රෝහ බලයෙන් ඒ ජාතියෙහි දු සත්කඩක්.ව හිසපැළී අධඃශීෂීව මහපොළොව පැළීගොස් මහනිරාවළ හින.

තව ද: මහාකපි ජාතකයෙහි මෙම මාගේ බොධිසත්ත්‍වයන් වහන්සේ වානරෙන්‍ද්‍ර ව ඉපැද මහ වන මැදෙක වාසය කරන කල දෙවිදත් කෘෂි බ්‍රාහ්මණව ඉපැද කිසියම් ප්‍රයෝජනයෙකින් මහ වෙනෙහි ඇවිදිනේ සැටරියන් නරාවළෙක වැටී සත් දවසක් නිරාහාරයෙන් දුග් ගන්ති. එ කල බොධිසත්ත්‍වයෝ මොහු දැක උපන් මහාකරුණාවෙන් නො එක් උත්සාහයෙන් මොහු ගොඩ නගාගෙන විඩා සන්හිඳුවන පිණිස ඔහුම ඇකයේ සැක නැති ව ඉස තබා මඳක් සැතපී ගත්තෑය. එ කෙණෙහි දෙවිදත් එතෙකින් මොහුගෙන් මට කම් නැත. මොහු මරා ඇඟමස් කා කායබල උපදවාගෙන වලින් හෙලිබැස පියමි”යි සිතාලා පහණක් අතින් ගෙන පැහැර බෝසතුන් හිස්මුදුන පළාපීය. එ කෙණෙහි බෝධිසත්ත්‍වයෝ පිබිද මොහුගේ ආකාරය දැක ඇසිල්ලෙකින් ගස උඩට පැනනැඟී ඔහු කෙරේ ආඝාතයක් ම නො කොට “මොහුගේ දුර්ජනකම් නිසා මෝහට එ තෙකින් සහායක් නොවීම් නම් හෙලි බැස ගත නොහී මේ වෙනෙහි ම මියෙයි, එ කල මාගේ කරුණා පාරමිතාව කෙසේ මුදුන් පත් කොට ගනිම්දැ”යි සිතා වදාරා ඇස වසා වැටීගිය මස් වැදැල්ල එක් අතෙකින් ඔහවා ගෙන අතු අත්තට පැන පැන ගොස් ඕහට මඟ පෑ මනුෂ්‍යපථයෙහි ලූ සේක. දෙවිදත් මනුෂ්‍යපථයට ගොස් මිත්‍රද්‍රෝහකම් කළාවූ පවින් සර්වාඞ්ගයෙහි කුෂ්ට කිලාස ඇති ව, මනුෂ්‍යප්‍රේත ව සත් අවුරුද්දක් මුළුල්ලෙහි ගෙයක් නැති ව, දොරක් නැතිව ඇවිද පසුව බරණැස් රජ්ජුරුවන්ගේ උයනෙහි රජපිරිස බල බලා සිටිය දී මහ පොළොව පැළී සල්ව සල්වා ගැල ගොස් මහ නිරාවළ ම හින.

සසරදී දෙව්දතුන් මහපොළොව ගිලි පරිදි

මෙසේ මේ දෙවිදත් බුදුන්ට එක වාරයෙහි කළාවූ ද්වේෂය නිසා “සසර නො එක් වාරයෙහි ඔබ නසමි”යි උත්සාහ කොට නො එක් වාරයෙහි තෙමේ ම විනාශයට පැමිණී ය. සසරදී ම අටවාරයෙක්හි ඔහු මෙසේ මහපොළෝ ගිලී ය. බුදුන් බුදු වූ ජාතියෙහි හා නව වාරයෙක ඔහු මහ පොළෝ ගිලී ය. ද්වේෂය නම් තෙමේ සත්පුරුෂ වූ ජනයෙනි! එම කඳින් හුනු ගින්නෙන් එම කඳ දවන්නා සේ සත්ත්‍වයාගේ ද්වේෂාග්නිය ඔහු ම නසන්නේම ය. අනුන් නැසිය නොහෙන්නේ ම ය, සත්පුරුෂයන් විසින් කිපුනහු මෛත්‍රීන් ජයගන්නේය, අසත්පුරුෂයා සත්පුරුෂ ධර්‍මයෙන් ජයගත යුතුය. දිළිඳුහු දානයෙන් ජයගත යුතුය, බොරු කියන්නහු සබා කීමෙන් ජය ගත යුතු මැ යි. වදාළේ මැනෝ:

අක්කොධෙන ජිනෙ කොධං - අසාධුං සාධුනා ජිනෙ,

ජිනෙ කදරියං දානෙන - සච්චෙන අලිකවාදිනං.

තව ද: ඔහු බුදුන් සමයෙහි පොළොව ගිලූ පරිදි කවර යත්? මෙසේ සංසාර සාගරයෙහි නො එක් ජාතිශත සහස්‍රයෙහි බුදුන්ට වෛරීව ඇවිදුනාවූ දෙවිදත් මේ බුද්ධෝත්පාද කාලයෙහි කෝළිය නුවර සුප්‍රබුද්ධ රජහු නිසා සුදොවුන රජාණන් නං අමිතා නම් බිසොවුන් කුස පිළිසිඳ යශෝධරා දේවීන්ට බැහැ ව, බුදුන්ට උරෙහි දා සුහුරුබඩු ව බුදුන්ගේ වංශයෙහි ම උපන. ඔහු මහණවූ පරිදි පෙර කී අනුරුඬාදී රජුන්ගේ මහණ වීමෙහි කියන ලද ම ය. එ දවස් මල්ලරජුන්ගේ අනුපිය වෙනෙහි දී බුදුන් කෙරේ මහණ ව කර්‍මස්ථාන උගෙන භාවනා කරන්නාහු පෘථග්ජන වූ ධ්‍යාන උපදවාගෙන ආකාශයෙන් ඇවිදුනා තරම් කැමැති රූපයක් මවා ගන්නා තරම් සෘද්ධි ලදහ. අවශේෂ වූ සත්ත්‍වයන් මේ පළමුවන සෘද්ධිය ලත්කල සංසාර සාගරයෙන් ගොඩ නැඟීමට පසුරක් බැඳ ගත්තා සේ ප්‍රතිෂ්ඨාවට කාරණ වෙයි, මොහු ලදුවා වූ සෘධිය ශුනකයක්හු නාසයට වැඩි මුවපිත සේ ඕහට ම අනර්‍ථකාරී වි ය. හේ කෙසේ ද යත්? ශුනකයා නාසයට මුවපිත වැඩි කල්හි හෙතෙම සතුන් ගැන්මෙහි ඉතා ගිජු ච ඇත්පොවුවන් පවා පස්සෙහි දිව ගොස් භය නැති ඇතු කරා වැද ඔහු ඇත්පියෙන් කිහිඹියක සේ ගැහැටී තෙමේ ම විනාශයට පැමිණෙන්නේ ය. එසෙයින් ම මොහු ලද ධ්‍යානයද මෝහට අභිමාන වඩා විනාශයට මූලික වී ය. හේ කෙසේ ද? යත්;

“මා හා සමඟ මහණ වූ රජදරුවෝ ඇමදෙන ම පන්සිය පන්සිය පිරිස් සිටුවා, ලාභයෙන් යසසින් අගපැමිණියහ; මම තව දක්වා එකලා යෙමි, ජාතියෙන් යශසින් ඔවුන් හා ම සමය. දැන් මහණධම් පිරීමෙන් අඩු වෙම් දැ යි මහත් වූ අභිමානයක් උපදවා මම ද පර්‍ෂදක් ඇති කෙරෙමි යි, පර්‍ෂදක් ඇති කරන කල පළමු කොට ලාභය ඉපැදවුව මැනැව, නිරායාශයෙන් ලාභයක් උපදවා ගන්නා කල රජක්හු ම පහදවා ගත මැනැව. කෝශල බිම්බිසාරාදි මහා ප්‍රඥාවන්ත රජදරුවෝ තමන් මහ නුවණැ’ති හෙයින් බුදුන් රහතන් කෙරෙහි අති විශ්වාසයහ, එසේ හෙයින් ඔවුන් හැම කෛ‍රාටික ඥානයෙන් පහදවා ගත නො හැක්ක, මට තරම් අඥාන වූ මුර්ඛ වූ රජෙක් කවරෙක් දෝ හෝ”යි පරීක්‍ෂා කොට “තෙසැට දහසක් රාජධානි ඇති මුළු දඹදිවින් රජගහා නුවර බිම්සර රජහු පිත් අජාසත් කුමර කාරණාකාරණ නො දන්ති, නවුන් මනවුන් නො දන්ති, මවුපියන්ට නොකීකරුය, ඉතා ශ්‍රීවන්තය, එසේ හෙයින් ඔහු ඇසිරු කළෝ ද සිතු සිතූදෙයක් කොට ගන්නාහ, ඇසිල්ලෙකින් සුඛිත වන්නාහ, මනවුන්ට සංග්‍රහ නොකරන බවක් මිස, තමා පහන් කෙනකුන්ට සංග්‍රහක් කෙරේ නම් නො කල වස්නා මහා වර්ෂාවක් සේ පමණ නැතිව දෙයි, මේ මේ කාරණයෙන් මම ඔහු පහදවා ගතිම් නම් ලාභය උපදවා පිරිස් සිටුවාගත හැක්ක”යි සිතී ය.

අජාසත් කුමරු

ඒ අජාසත් රජහු ගේ උත්පත්ති කථාව කවර යත්? පෙර සැවැත් නුවර මහ කොසොල් රජහු දූ රජගහා නුවර බිම්සර රජහට අගමෙහෙසින්ව වැස අජාසත් කුමරහට දරුගබ් ගත, ඔහු කුස පිළිසිඳ ගත් වේලෙහි බිසොවුන්ට රජහුගේ දකුණු උරයෙන් ලේ බොන දොළක් උපන, බිසොවු තමනට උපන් දොළ ලජ්ජාවෙන් කිසි කෙනකුන්ටත් නො කියා වැහැර මළා ගිය මල්දමක් සේ වූහ. රජ්ජුරුවෝ බිසොවුන් වහරන සේ දැක නො එක් වාරයෙහි විචාරා දොළ නොකියන හෙයින් “දොළ නොකියෙහි නම් තී මට සතුරු නියාය” යි කියා යත්නයෙන් විචාරා ලේ බොන දොළ සේ දැන “තිට උපන් දොළ ඉතා මට සුවකමු වූ දොළෙකැ”යි සතුටුව, මහ වෙදනාවන් ගෙන්වා රන්සැතින් උරය පළවා රන්තැටියෙහි ලේ වත් කොට පැන් හා සමඟ බිසොවුන් පෙවූහ. එ කෙණෙහි දොළ සන්සිඳින. නිමිති දන්නා ආචාරිවරයෝ මේ දොළ අසා “බිසොවුන් කුස පුතෙක් උපන, එ පුත් රජුට සතුරු ය, ඔහු නිසා රජ නස්සී, එ තෙමේ මහපින් ඇතියේ ය, පියරජහු මරා මෙනුවර රජ කෙරෙයි” කීහ. බිසොවු එ පවත් අසා රජ්ජුරුවන්ට සොරා උයනට ගොස් දරුගබ මඬවති, ඒ කුමරහුගේ පින් බෙලෙන් දරු ගබ නොහේ ම ය. රජ්ජුරුවෝ බොහෝ සේ බිසොවුන් උයනට යන්නා දැක සැක ඇති ව විචාරා කාරණ අසා “තී කුස පුතකු බවු දු දුවක බවු දු නො දැනෙයි, අසුවල් රජ තමන්හට උපන් දරුවන් මෙසේ කෙළේ යැයි දඹදිවු තෙලෙහි රජදරුවෝ මට නින්දා බෙණෙති, මතු එසේ නො කැරැ”යි කිපී බිසොවුන්ට රකවල් ලැවූහ. බිසොවු “පුතෙක් වී නම් ඔහු උපන්විට ම මරමි”යි සිතූහ. රජ්ජුරුවෝ ඒ සිත හා දැන වින්නඹුවන් උගන්වා කුමරු උපන් විට ම බිසොවුන් ඇස නො පෙන්නා පහකැරවූහ.

ඉක්බිත්තෙන් ඒ කුමර දෙතුන් හැවිරිදි වූ කල සරහාලා බිසොවුන් ඇස දක්වාලූහ. බිසොවු පුත්‍රප්‍රේමයෙන් පෙර තමන් සිතූ සිත සඳහන් නැති ව මහත්වූ සනා කොට වැඩූහ. මරන්නට නොපොහොසත්වූහ. ඔහු මවුකුසින් ජාත නොවම පියහට සතුරු වූ හෙයින් අජාසත් කුමර ය යි නම් තුබූහ. ඔහු සොළොස් හැවිරිදි කල ම පියරජාණෝ යුවරජ කළහ.

මෙසේ ඔහු තමන්හට තරම් සේ දැක දෙවිදත්හු ධ්‍යානලාභී ව බුදුන් කෙරේ වසන්නාහු බුදුන් කොසඹෑ නුවර ඝොසිතාරාමයෙහි වසන කල දෙවදත්තයෝ පාත්‍ර සිවුරු ගෙන එකලාවම රජගහා නුවර ගොස් බුදුන්ගේ වෙළුවනාරාමයෙහි ලැග දෙවන දා උදාසන “කෙසේවූ පෙළහරෙකින් ඔහු පහදවා ගනිම් දෝ හෝ” යි සිතා “පළමුකොට රජහු තැතිගන්වා පෙළහරක් පාමි”යි කල්පනාකොට ගෙන එ කෙණෙහි ම ශ්‍රමණ රූපය අන්තර්ධාන කොට විකුර්වණ සෘද්ධි බලයෙන් අත්වල වළලු ඇති, ඉසකේ නො බැඳ, ළදරු වූ දිව්‍යකුමාරයකුගේ වෙසක් මවාගෙන නයින් සත්දෙනකු මවාගෙන දෑත, දෙපය වළලු ලූවා සේ නයින් සතර දෙනකු වෙළාගෙන, එක් නයකු මල්දමක් සේ ඉස්මුදුනෙහි වෙළාගෙන එක් නයකු ග්‍රීවයෙහි සිසාරා ගෙන, මහ හැළි නයකු මුත් හරක් සේ උරෙහි එකාංශ කොට ලාගෙන ආකාශයෙන් ගොස් අජාසත් රජහු මහපිරිස් පිරිවරා තමාගේ රාජාඞ්ගනයෙහි උන් වේලෙහි අහසින් බැස ඔහුගේ ඇකයේ සැකයක් නැති ව ඉන්ද්‍රජාලයක් සේ පෙනී ගියහ.

එ කෙණෙහි නයි සත්දෙන වෙන වෙන ම ඵණ කෙරෙමින් කඹුරුසම් මඩින්නා සේ සුස්ම සුස්මා රජහු කරා තුඩු දිගු කෙරෙමින් භය ගැන්වූහ. එ වේලෙහි අපාසත් කුමර මහ පිරිසට ඇසෙන සේ තුන්හඬක් හඬා “කොල! මේ කවරෙක් ද, දැන් දක් නයින් ලවා කවා මරවයි, මේ නාගයක්‍ෂයාගෙන් මා රකුව රකුව”යි කී ය. එ වේලෙහි අමාත්‍යයෝ ද භය ගෙන වෙවුලා ඉපිල පැන නැංගහ. රජකුමර “සෙලවී නැඟෙම් නම් නයි මා කත් දෝ හෝ”යි යන භයිනුත් රාජධෛර්‍ය්‍යයෙනුත් වෙවුල වෙවුලා නො නැඟී හුන්නේ ම යැ.

එ වේලෙහි දෙවදත්තයෝ “මහරජ! නො බව, මම යකෙකිම් නොවෙමි, තොපට අවැඩක් නිසා නො අමි, තොප පහදවා ගන්නා නිසා ආමි, සුදොවුන් රජාණන් බැහැන වූ, ගෞතම බුදුන් සුහුරු බඩු වූ, සයානූලක්‍ෂයක් දෙවඟනන් බඳුවූ වරඟනන් පිරිවරා ශ්‍රීවන්තව ශ්‍රී විඳුනාවූ, යශෝධරා බිසොවුන් බැහැණෝ, රහල් තෙරුන් මයිලනුවෝ, දෙවදත්තතිස්ස නම් මහාස්ථවිරයෝ මම් ම වේ දැ”යි කීහ. අජාසත් කුමාරයෝ එ බස් අසා “හිමියාණෙනි! නුඹගේ ඍඬිබල දතිමි, නුඹ දෙවිදත් මහතෙර වී නම් මට මේ සා මහත් භයක් නොදී පැන නැඟි මා පෙරට ව සිටියේ නම් වඳිමි, පුදමි සත්කාර කෙරෙමි, නුඹට උපාසක වෙමි”යි කීහ. එ වේලෙහි දෙවිදත් මහ තෙරහු ඒ රූපය අන්තර්ධාන කොට පාත්‍රසිවුරු දරා මහණ වෙසින් රජු පෙරටව සිටියහ. එකල සුතනු ජාතකයෙහි නිර්ගුණී වූ, අසුන් කඩා කා වණ කරණ අශ්වරාජයන් දෙදෙනා ඔවුනොවුන් කරා පැමිණ, ඔවුනොවුන් තොලු සිඹ, ඔවුනොවුන්ගේ තොලු ලෙව ලෙව, අතිවිශ්වාසයෙන් සිටගත්තා සේ මොහු දෙදෙන ද සමාන ධාතුකයන් හෙයින් ඔවුනොවුන් කෙරෙහි අති ප්‍රසන්න වූ හ.

එ දවස් පටන් පහන්වූ රජ දෙවිදත් මහතෙරුන්ට අලඞ්කෘත වූ වෙහෙරක් කරවා එහි ලා මධ්‍යම පුරුෂයන් දසදෙනකුට එකි එකී වස්නක් සෑහෙන නියායෙන් පන්සියක් බත්වසුන් දවස් පතා තබා දුන්හ. මහපිරිස් ගෙන පන්සියක් රථ නැඟී දවස තුන් වාරයක් වෙහෙරට අවුදින් දෙවිදත් මහතෙරුන් හා සාකච්ඡා කොට යන්නාහ. දෙවිදත් මහතෙරුනට රජහුගෙන් දෙන්නාවූ රාජභොජනය ම පන්දහසක් සත්වයෝ සුව සේ අනුභව කරන්නාහු ම ය. පන්සියක් මහණුන් ද ඇති කළහ, එසේ හෙයින් එ තැන් පටන් ලාභයෙන් යශයෙන් අග්‍ර වූහ. මෝහට පැමිණියා වූ ඒ සත්කාරය සත්පුරුෂ වූ මහණ කෙනකුන් කරා පැමිණියේ වී නම් ශාසනාම්බරයෙහි පුන්සඳ සේ ප්‍රසිද්ධ ව යා හැකි ම යැ. මෝහට පැමිණියා වූ ලාභය හා යශස ම ඕහට ම අනර්‍ථ මූලික වි ය. වදාළේ මැනෝ:

ඵලං වෙ කදලිං හන්ති - ඵලං වෙළුං ඵලං නළං,

සක්කාරො කාපුරිසං හන්ති - ගබ්භො අස්සතරිං යථා:-යි.

මෙසේ තමහට නො තරම් වූ ලාභය ලදින් අභිමානයක් උපදවා “බුදුහුත් රජයහ, මමත් රජිමි, මේ සා සත්කාරයක් ලත් කල බුදුනට මා අඩු කිම්දැ”යි අභිමාන චිත්තයක් ඉපැදවූහ. රජහු ගෙන් ලද ඓ‍ශ්වර්ය්‍යය රජහුට අපක්‍ෂපාතකමක් කළ කල පහව ගියා වූ ශ්‍රීකාන්තාව සේ, ඇඟින් පහවූ දේවතාවකු සේ, ඔහු බුදුන්ගෙන් ලද ධ්‍යානයද ඔහු කෙරෙන් පහ` වි ය. එ වේලෙහි ඒ කාරණය දත් කකුධ නම් මහේශාක්‍ය වූ දිව්‍යරාජයාණෝ කොසඹෑ නුවර ගොස් තමන්ට කුලුපග වූ මුගලන් මහතෙරුන් වහන්සේට දෙවිදත්හු සිතූ විතර්කයත් ධ්‍යානයත් පිරිහුණු නියාවත් කීහ. මුගලන් මහ තෙරුන් වහන්සේ එපවත් අසා ගොස් බුදුන්ට සැලකළ සේක. ස්වාමිදරුවෝ ඔවුන් කෙරෙහි උපන් මහත් වූ කරුණා ඇතිව:-

මහා වරාහස්ස මහිං විකුබ්බතො

භිසං ඝසානස්ස නදීසු ජග්ගතො,

භිඞ්කොව පඞ්කං අභිභක්ඛයිත්‍වා

මමානුකුබ්බං කපණො මරිස්සති-යි.

යන මේ ගාථාව වදාරා “නිර්‍මල වූ භිෂයන් අනුභව කරන්නාවූ හස්තිරාජයාගේ ක්‍රියාව කෙරෙමි යි, පඞ්කභිෂයන් අනුභව කොට ඉදිව නස්නාවූ හස්තීභිඞ්කයා සේ මාගේ ක්‍රියාව කෙරෙමි යි හෙ ද විනාශයට පැමිණෙන්නේ වේ දැ”යි වදාරා ස්වාමිදරුවෝ “යම්හ, මහණෙනි! රජගහා නුවර”ය යි කොසඹෑ නුවරින් නික්ම ක්‍රම ක්‍රමයෙන් දනවු සැරිසරා රජගහා නුවර වෙළුවනාරාමයට වැඩි සේක.

දෙවිදතුන් දම්සෙනෙවිධුරය ඉල්ලීම

මෙසේ බුදුන් වෙළුවනයෙහි වැඩවසන කල දෙවිදත් මහ තෙරහු තමන්ගේ පන්සියක් පමණ මහණුහු ගෙන බුදුන් කරා ගොස් බුදුන් වැඳ එකත්පස්ව හිඳ මහත් වූ අහඞ්කාරයෙන් ලාභයෙන් යසයෙන් උමතු ව තුමූ තමන් නො හැඳින දනවන්නාහු “ස්වාමිනි! මේ ලෝකයෙහි රජුන්ගේ යුවරජ සේනාධිපති ය යි රජුන් සුවවින්දදීම රාජ්‍යය විචාරනුවෝ ඇතියහ, නුඹ වහන්සේ ද සද්ධර්‍ම චක්‍රවර්ති බුදුරජාණ කෙනකුන් වුව, එසේ හෙයින් නුඹ වහන්සේට සේනාධිපතියක්හු ඇත මනාවේද, එසේ හෙයින් නුඹ වහන්සේ බුද්ධරාජ්‍ය ශ්‍රී වුන මැනැව, මට ධර්මසේනාධිපති ධුරය දුනමැනැව, ස්වාමීනි! ශාසනය මට පාවා දුන මැනැවැ”යි කීහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ ඔහුගේ සත්කාර සිලෝකයෙන් උපන්නාවූ අභිමාන තෙපුල් අසා “මෙ තෙම ක්ෂාන්ති මෛත්‍රී දයාවක් තමාගේ සන්තානයෙහි නැතිව මාර්‍ගඵලයකුත් නැතිව මා විසින් දුන් ධ්‍යාන පමණකුත් රඳවාගත නොහී, සක්රුවන පතන චණ්ඩාලයකු සේ සිතුමිණිරුවන ඉල්වන අපුණ්‍යයා සේ, රන්ගල් මුදුනක් පතන ශෘගාලයකු සේ, තෙමේ බුදුන මාරුයෙහි ශාසනය විචාරමි යි ස්ථානානතර ඉල්වයි, තෙමේ තමා නො දන්නේය”යි සිතා “දෙවදත්තයා මුඛයට පැමිණි ගොචරය වල දමා ඔබ්බෙන් ගොදුරු සොයන්නාවූ අඥානයා සේ, අතට පැමිණියා වූ මස්සක් පමණත් රඳවාගත නො හී වල දමා දහසින්බඳ පියලි පතන්නාවූ අලසයා සේ උගුරෙහි තුබූ බත් ගැලගත නො හී මුසපත් ව උගුර හඬ හඬා නැවත බත් පිඩුකොට කට තබන්නා වූ අතිලෝභීහු සේ, පැමිණියා වූ ධ්‍යානයත් නසා ගෙන ධර්මසේනාධිපති ස්ථානාන්තර ප්‍රාර්‍ථනා කෙරෙහි ද, තෝ තා නොදන්හිද, මාගේ සැරියුත් මුගලනුන් වැනි පරිනායක පුත්‍රයන්ට මාගේ ස්ථානාන්තරය නොදෙනුයෙම් ඛෙලපිණ්ඩොපම වූ තා වැනියන්ටත් මාගේ ස්ථානාන්තරය දෙම් ද, හස්තිරාජයක්හු අදිනා වූ සකට භාරය වටුවෙක් හැඳලිය හේ දැ” යි වදාළ සේක.

එ වේලෙහි දෙවිදත් බුද්ධ තේජසින් වෙවුලා ප්‍රතිවචනයක් කියාගත නොහී “බුදුහු බැහැරින් අවුත් තමන් කෙරේ මහණ වූ බමුණන් පවා ගරු කොට සිතති, තමන් හා සම රජකුලෙහි උපන් මා ඛෙලපිණ්ඩොපමාවෙන් අඩුකොට සිතූහ”යි එ දවස් බුදුන් කෙරෙහි පළමුවන ආඝාතය බැඳ තමන්ගේ වෙහෙරට ම ගියහ.

අජාසත් කුමරු පියරජු මැරවීම

එ කල එක් දවසක් දෙවිදත් මහ තෙරහු අජාසත් කුමාරයන් තනි කොට මන්ත්‍රණයක් කරන්නාහු “අජාසත් කුමාරය! පෙර මනුෂ්‍යයන්ගේ ආයු බොහෝ ය, දැන් මිනිසුන්ගේ ආයු මඳ, දැන් තෝ සොළොස් හැවිරිදියෙහිය, මතු කවර කල රජය ලබන බවත් නියම නැත, මම තට උපදෙසක් කියමි, මා කීවා කරතොත් තා පියා මරා රජය ගනුව, මම බදුන් මරා බුදුරජය ගනිමි, එ කල අපි දෙදෙන ම සිත් සේ සුව විඳුම්හ”යි නො එක් සේ මන්ත්‍රණය කොට පියරජහු මරන්ට ගිවිස්වා පී ය.

එ කල අජාසත් රජ සතුටු ව “අපගේ මහතෙරහු මහානුභාව ඇතියහ, මහනුවණ ඇතියහ, ඔවුන් නො දන්නා දෙයෙක් නම් නැත, මට කීයේ වැඩෙක්මය”යි ගිවිස තමා කලවයෙහි සොටිය බැඳගෙන දෙවන දහවල් රජගෙට ගොස් වැද වෙවුල වෙවුලා බලා සිටියේය. එ වේලෙහි ආමාත්‍යයෝ ඔහු අල්වා ගෙන පය තිබූ සොටිය දැක “අප රජහු මරන්නට ම ආය”යි සැබවින් දැන “මොහුත් දෙවදත්තයාත් ඔහුගේ මහණුනුත් මරම්හ”යි ඔවුනොවුන් අතුරෙහි මන්ත්‍රණය කොට “රජ්ජුරුවන්ට නො කියා නොමරම්හ’”යි රජ්ජුරුවන්ට මෙ පවත් සැල කළහ. රජ මෙ පවත් අසා “පුතු මරම්හ’”යි මන්ත්‍රණය කල අමාත්‍යයන්ට උරණ ව නො මරම්හ යි මන්ත්‍රණය කළ අමාත්‍යයන්ට ප්‍රසාද දී ළඟට කැඳවා ගෙන “පුතණ්ඩ! කුමක් නිසා මා මරමියි සිතූදැ”යි විචාළහ. කුමාරයා “රාජ්‍ය ලොභයෙනැ”යි කී ය. රාජ්‍යයෙහි ලෝභී කල තොපගේ රජය තෙපි ම ගනුව, පුතණ්ඩ, මට කුමට ද්‍රෝහ සිතූ දැ”යි කියා කුමරු සිඹ සනහා රාජ්‍යය හැම පාවා දුන්හ.

එ කල රජකුමර රජගහා නුවර හැම රාජ්‍යය ලදින් සතුටු ව දෙවදත්තයා කරා ගොස් “ස්වාමීනි! නුඹ කී උපදෙස් කොට පිය රජහු මරාගත නුහුනු බව මුත් රාජ්‍යය ලදිමි, මාගේ මනොරථය සිද්ධ වී ය”යි කීය. දෙවිදත් එ බසට නො සතුටු ව “තා ලත් රාජ්‍යය මීයන් ඇතුළේ ලා ඇද සැදු බෙරක් ලද්දා වැන්න, රජුන්ගේ මායම් නො දන්හි ද, සතුරන්ට ප්‍රසාද සතුටු කරවා නසන ලෙස නො දන්හි ද, කීප දවසෙකින් තාගේ නිහරසර බලා තා මරවා රාජ්‍යය ගන්ති, සැක නොකරැ’”යි කී ය. එ කල රජ කුමර භයින් වෙවුලා “වැළි ස්වාමීනි! කුමක් කෙරෙම්දැ”යි කීය. දෙවිදත් “නො දොඩා තා පියා මරා පියව”යි කීය. අජාසත් කුමර කියනුයේ “ආයුධයෙන් මපියාණන් වහන්සේ මැරිය නො හැක්ක, කෙසේ මරම් දැ”යි කී ය. දෙවිදත් “බත් වැද්ද නොදී මරවා පියව’”යි කී ය.

එ කල අජාසත් කුමර පියරජ්ජුරුවන් සිරගෙයි ලවා “ම මෑණියන්වහන්සේ මුත් අනික් කිසි කෙනෙකුනුත් ඇතුළට වැද්ද නො දෙව”යි රකවල් ලැවීය. එදා පටන් බිසොවු රන්තැටියෙන් බත් හින තබාගෙන සිරගෙට වැද රජ්ජුරුවන් කවා එති. රජ්ජුරුවෝ එබත් කා ජීවත්වෙති. සත් අට දවසක් ගිය කල අජාසත් කුමර “මපියාණන් වහන්සේ කෙසේ රැකෙන සේක්දැ”යි විචාරා මේ කාරණ අසා “අද පටන්ම මෑණියන් වහන්සේ හිනින් කිසි දෙයක් ගෙන සිරගෙය ඇතුළට යා නොදෙව’”යි රකවල් ලැවී ය. එ දාපටන් බිසොවු හිනින් බත් ගෙනයා නො හැක්කෙන් රන්තැටියෙන් බත් මුහුලස යට සඟවා තබා ගෙන ඇතුළට වදිති. එ බත් අනුභව කොට සත් අට දවසක් රජහු ජීවත් වූ කල අජාසත් කුමර මෙ පවත් අසා “ම මෑණියන් වහන්සේ හිස කේ බැඳගෙන ඇතුළට වැද්ද නොදෙව”යි රකවල් ලැවීය. එ දා පටන් බිසොවු ඉසකෙස් යටින් බත් ගෙන යා නොදෙන හෙයින් රන්මරවැඩි යට අග බොජුන් පුරාලා පියනින් වසාලා පයින් බත් ගෙන සිරගෙට වැද සමණන් කවා එති. එබත් කා සත් අට දවසක් රජ්ජුරුවන් ජීවත් වූ කල අජාසත් කුමර එපවත් අසා “මෑණියන් වහන්සේ මරවැඩි ලාගෙන සිරගෙට යා නොදෙව’”යි රකවල් ලැවීය. එදා පටන් බිසොවු අනික් උපදෙසක් නොදැක සුවඳ පැනින් නහා සර්වාඞ්ගයෙහි චතු මධුර ගල්වාගෙන උතුරු සළුවෙන් ඇඟවසා ඇතුළට වදිති. රජ්ජුරුවෝ බිසොවුන් ඇඟ ලෙව කොට ජීවත් වෙති. මෙසේ සත් අට දවසක් ගිය කල අජාසත් කුමර මෙ පවත් අසා “ම මෑණියන් වහන්සේ මෙතැන් පටන් ඇතුළට යා නොදෙව”යි නියෝග කෙළේය. එදවස් බිසොවුන් දොරකඩ දී රකවල්හු රැඳවූහ. එවේලෙහි බිසොවු මහත්වූ ශෝකයෙන් තැවී දොර මුල සිට “ස්වාමිනි! බිම්සර රජ්ජුරුවෙනි, ඔහු බාල කල ම මරා පිය නුදුන්නව, තොප සතුරා තොපි ම වැඩුව, අද මේ නුඹ හා මාගේ නිමාම් දැක්ම ය; අද පටන් නුඹ දැක්මත් නොලැබෙමි, ස්ත්‍රීන්ගේ නම් වරද බෙහෙව, මා කළ වරදෙක් ඇත් නම් ක්‍ෂමා කළ මැනැවැ”යි කිය කියා සමණන් වැඳ ක්‍ෂමා කරවාගෙන හඬ හඬා නැවත ගියහ. එ දා පටන් රජ්ජුරුවන්ට නිරාහාරය.

සෝවාන් රජ්ජුරුවෝ මාර්‍ගඵල සුවයෙන් සක්මන් කොට ජීවත්වෙති, රජ්ජුරුවන්ගේ ශරීරප්‍රභාව අඩුවෙක් නැත. මෙසේ කීප දවසක් ගිය කල “ම පියාණෝ කෙසේ ජීවත් වෙත්දැ”යි විචාරා “සක්මනින් යැපෙන සේක, ශරීරයෙහි අඩුවෙක් නැතැ’”යි අසා “ම පියාණන් අද පටන් සක්මන් නොකළ දෙව, දෙපතුල් කරයෙන් සැත් හෙව ඇඹුල් ලුණු තෙල් ගල්වා ගිනි අඟුරට පෑ චිටි චිටි යන අනුකරණ වන තුරු පැසව”යි නියෝග කොට කරනවෑමියන් යැවීය.

පිය රජ්ජුරුවෝ තමන් කරා එන කරනැවෑමියන් දැක “ම පුතණුවෝ කිසි කෙනකුන්ගේ අවවාද ලදින් සන්හිඳුනාහු වන්හ. මොහු අද මා දැළිරවුලු කපා අන්දම් තබන්ට එන්නාහු වනැ”යි සිතුවාහු ය. ඔහු ගොස් රජ්ජුරුවන් වැඳලා සිටියහ. රජ්ජුරුවෝ “දරුවෙනි! කුමකට අවුනැ”යි විචාළහ. පුතණුවන් වහන්සේ කියා එවූ වධක පවත් කීහ. රජ්ජුරුවෝ එපවත් අසා කෝපයක් නො කොට “තොපගේ රජහු කීවා කරව”යි අස්නෙහි හිඳ පතුල් දිගු කළහ. ඇමැත්තෝ රජ්ජුරුවන් වැඳ සිට “ස්වාමීනි! අපගේ වරදනැත, රජහුගේ නියෝගයෙන් කරම්හ, අපට ක්‍ෂමා කළ මැනව, නුඹ වහන්සේ වැනි ධර්මිෂ්ඨ වූ රජක්හට මේ තරමෙක් නොවෙ”යි කිය කියා හඬ හඬා වමතින් ගොප්මස අල්වාගෙන දකුණතින් කරය ගෙන රජුගේ දෙපතුල් පලා ලුණු තෙල් ගල්වා කිහිරඟුරට පෑ චිටි චිටි යන අනුකරණය දක්වා පැසවූවාහුය.

මෙසේ ධර්මිෂ්ඨ සෝවාන් රජ්ජුරුවෝ, මෙසේ වූ ව්‍යසනයක් කෙසේ පවෙකින් ලද්දාහු ද යත්? පූර්‍ව ජාතියෙහි දාගබ් මලුයෙක කරුණක් නැතිව වහන් පය ලා ගෙනගියාවූ එක් පවෙක, තවද එක් ජාතියෙක සංඝයා වැඩහුන් සම්කඩක් නොදැන මැඩ පියා ක්‍ෂමා කරවා නොගත් පවෙකැ යි මේ අකුසල් දෙක මේ ජාතියෙහි විපාක දිනැ යි දතයුතු.

පය පැසවන වේලෙහි රජ්ජුරුවන්ට මහත් වූ වේදනා විය. “අහො බුද්ධො අහො ධම්මො-අහො සංඝො” යි කිය කියා දාකරඬුයෙක පුදා ලු මල්දමක් මළා ගියා සේ රජ්ජුරුවෝ පය පැසවන වේදනාවෙන් මිය චාතුර්‍මහාරාජික නම් දිව්‍යලෝකයෙහි ජනවසභ නම් දිව්‍යරාජව ඉපැද ගියහ. මේ ජාතියට පූර්‍වභාගයෙහි, එක් ජාතියෙක එම දිව්‍යලෝකයෙහි මහත් වූ දිව්‍යසුව වුන්හ. එයින් අවුදින් පිට පිට මෙසේ සවාරයෙක දඹදිව රජ කළහ, දැන් මේ සත්වන වාරයෙහි එම දිව්‍යපුරයෙහි ඉපැද අද දක්වාත් සුව විඳිති.

මෙසේ පියරජහු මළ දා ම අජාසත් රජහුගේ පුතෙක් උපන. පුතණුවන් උපන් නියාවද, පියාණන් මළ නියාව දැයි පත් දෙක අසුන් එක විට ම ගෙන ගොස් අමාත්‍යයෝ “පළමු කොට ප්‍රිය හසුන් කියම්හ”යි පුතණුවන් උපන් අසුන් පත රජු අත තුබූහ. එ කෙණෙහිම පුත්‍ර ප්‍රේමයෙන් රජුගේ සර්වාංගය පිරී ඇට මිඳුලු ගසා සිට ගෙන ලොමහර්‍ෂ ගත. එ කෙණෙහි පියාණන්ගේ ගුණ සිහි කොට ‘“මා උපන් වේලෙහිත් ම පියාණන් වහන්සේට ද මෙසේම සනා උපන්නේම ය, කොල! වහා ගොස් ම පියාණන් වහන්සේ සිරගෙන් හැර පියව”යි කීහ. එ කල අමාත්‍යයෝ රජහු මළ පවත් ලී අසුන්පත අතට දීලූහ. පත බලාපියා පියරජහු මළසේ දැන උපන් මහත් ශෝකයෙන් මෑණියන් වසන රජගෙට ගොස් හඬා වැලප “මෑණියන් වහන්ස! මා උපන් දා ත් මපියාණන් වහන්සේට දරු සනා මෙසේ ම උපන්නේ වේ දැ'යි කීය.

මෑණියෝ ද එ වේලෙහි හඬා වැලප “පවු කළ පුත! කුමක් කියයි ද? තොප බාල කල ඇඟිලි අග පොළෙක් නැංග, එ කල තොප හඬා නොනැළැවෙන හෙයින් වඩාගෙන ගොස් අධිකරණ මධ්‍යයෙහි අමාත්‍යයන් පිරිවරා සිංහාසනයෙහි උන් තොප පියාණන් ඔරට වඩාලූහ, එ කල තොප පියරජ්ජුරුවෝ තොප හඬන සේ දැක එ පොළ ඇති ඇඟිල්ල තමන් කට ලා ගත්හ, එවේලෙහි පොළ මුඛයට සිල්විය. එවේලෙහි තොප පියාණෝ තොප කෙරෙහි කළ ප්‍රේමයෙන් ලේ මුසු වූ තොප ඇඟිල්ලෙහි ඒ සැරව දමා නොපියා ගැලපුවාහු වේ දැ”යි කියා “තොප පියාණන් තොප කෙරෙහි ඇති ප්‍රේම මෙසේ වෙ දැ”යි කීවා හු ය. එ කල අජාසත් රජ හඬා වැලප ගොස් පියරජහු දවා අලු හස් කැරවී ය.

දෙවිදත්තෙර දුනුවායන් යෙදීම

දෙවිදත් මෙසේ බිම්සර රජහු මරවා “බුදුන්ගේ අග්‍ර උපාසකවූ රජහු පිටි දැක ගතිමි, එතෙකින් බුදුන් මරවා මම ද බුදුරජය ගනිමි”යි දවසෙක අජාසත් රජහු කරා ගොස් “මහරජ පියරජහු මරා තොප රජය ලත් බැවින් තොපගේ මනොරථය සිද්ධ වී ය, බුදුන් මරා මාගේද මනොරථය සිද්ධකරව”යි කී ය. අජාසත් රජ “මා විසින් කළ මනා යම් දෙයක් කෙරෙමි යි, සැක නැතිව වදාළ මැනවැ”යි කීය. එබසට දෙවිදත් කියනුයේ “සෙසු කෙනෙකුන් ලවා බුදුන් මරවා ගත නො හැක්ක. රූක්‍ෂ වූ දුනුවායන් ලවා විද්දා මරවා පියනු කැමැත්තෙමි, තොපගෙන් දුනුවායන් මට පාවා දෙව”යි කීය. රජ්ජුරුවෝ පන්සියක් දුනුවායන් රැස්කොට එයින් අක්‍ෂණ වෙධීන් එක්තිස්දෙනකු තෝරා තෙපි “දෙවිදත් මහ තෙරුන් කරා පලා ගොස් උන් කීවක් කරව”යි යැවීය. දෙවිදත් ඔවුන් දැක සතුටුව ඔවුන් අතුරෙන් ජ්‍යෙෂ්ඨ වූ දුනුවායා තනිකොට ගෙන “මා කියන රහස කිසිවක්හට නො කියව. මට කීකරු වව, අජාසත් රජහු රාජ්‍යය ලත් නියාව දුටුයෙහි වේ ද, තොයි දු මා කීවක් කෙළෙහි නම් තාත් ඉසුරුමත් කරවාලමි”යි කීය, “නුඹ කී යම් ම දෙයක් කෙරෙමියි වදාළ මැනැවැ”යි ඔහු විසින් කී කල “බුදුහු ගිජ්ඣකූට පර්‍වතයෙහි අසුවල් තැන සක්මන් කෙරෙති, තොපි එතෙනට පලාගොස් බුදුන් විද මරා පියා අසුවල් මඟින් කාටත් නො පෙනී පලා වරැ”යි ඔහු පළමුව යවා දුනුවායන් දෙදෙනකු “අසුවල් මඟින් එන දුනුවායා තෙපි දෙදෙන මරාපියවයි” උගන්වා යවා උන් දෙදෙනා මරණ සේ සතරදෙනකු යවා, උන් සතරදෙනා මරණ සේ අටදෙනකු යවා උන් අටදෙනා මරණසේ සොළොස්දෙනකු යවා, උන් සොළොස් දෙනා ආ කල පසුව මම් ම නිහඬ දන්නෙම් වේ දැ”යි සිතා මෙසේ තමා කළ සොරකම කිසිවක්හු කනට නොගිය මැනැවැයි සිතා බුදුන් මරණ සේත් දුනුවායන් එක් තිස් දෙනා මරණ සේත් එක කටයුත්තක් දෙදෙනකු නොදන්නා නියායෙන් සංවිධාන කොටලීය.

එ දවස් මාගේ ස්වාමිදරුවෝ අරුණොද්ගමන වේලෙහි මහා කරුණා සමාපත්තීන් නැඟී මුළුලොව බලා වදාරන සේක් එ දවස් දුනුවායන් එක්තිස්දෙනා තමන් වහන්සේගේ නුවණ දැලෙහි බැඳී සංසාර නමැති පාප ලවණ සාගරයෙන් ගොඩනැඟී නිවන් අමාමුහුද සිත්සේ බැස කෙළනා පින් ඇති බවු දැක තවද පෙර තමන් වහන්සේ සසර ළදරු කුමාරව පසේ බුදුන් දැක ක්‍රීඩා නිසා ඔබ ඇඟට ගල් ගසා වඩනා මඟ අකුරු බොරලු රැස් කළ අකුශලය ද එ දවස් විඳුවන බවු දැක තමන් කරා එන දරුවන් පෙරමඟ බලන පෙම්බර මවක සේ පෙරමඟ බල බලා මහ කුළුණෙන් සක්මන් කරණ සේක.

ඉක්බිත්තෙන් පළමු ව එවූ දුනුවායා කඩුවක් උරෙහි ලා හීය උරපිට බැඳ මැඬහඟු දුන්න ගෙන සන්නද්ධව දෙවිදත්හුගේ සලකුණෙන් ගොස් බුදුන් දැක විෂ පෙවූ සැරයක් ගෙන උරපුරා හයා ගත. එ කෙණෙහි උන්වහන්සේ සසර මුව ව උපන් කල පවා විදිමි යි දුනු හයාගත් රජුන් පවා රූප ශ්‍රී දැක සැරය මුදාපිය නො හී චිත්‍රකාර රූප සේ සිටිනා කල, දැන් ලොවුතුරා බුදු ව තුන්ලෝ මුදුන් වූ සමයෙහි ඔහු අතින් සැරය නො හැරෙන නියාව කිනම් පෙළහරෙකැයි කියම් ද, එසේ ද වුවත් ඔහු දකුණත හී පගිලිය හා දුනුදිය හැලී ගිය, වමත දුනුමිට හා ඊ මුදුන්ද හැලී ගිය, ධනු වේගයෙන් යන්ත්‍රයෙකලා පෙළන්නාසේ සර්වාංගයෙහි ඇට මුරුමුරු යන අනුකරණව මහත්වූ වේදනා විය.

එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ මොහු සිටිනා ලෙස දැක ඔහු කෙරෙහි ද, ඔහු එවූ දෙවිදත්හු කෙරෙහි ද, ඔහුට උපස්ථායක වූ අජාසත් රජහු කෙරෙහි ද, සුදොවුන් මහරජානන් කෙරෙහි ද, රහල් තෙරුන් කෙරෙහි ද, ශුචි අශුචි භූමියෙහි සමව පවත්නා චන්ද්‍රකාන්තිය සේ සියලු සතුන් කෙරෙහි සමව පවත්නා මහා කරුණාවෙන් ඔහු මුහුණ බලා මධුර වූ නාදයෙන් “දරුව! අපට කැලි කම් කොට නොවෙහෙසී මෙසේ පලා එව”යි වදාළසේක. එ කෙණෙහි ස්වාමි දරුවන් බැණනැගී බස හා සමග ඔහු අතින් දුන්න හා සැරය බිම වැටී ගිය, කඩුව හා හියවුරුද වැටී ගිය; තෙමේ භයින් වෙවුල වෙවුලා ගොස් බුදුන් ශ්‍රීපාද වැඳ “ස්වාමීනි! කරුණා මෑණියනි! දුර්ජන වූ දෙවිදත්හුගේ බස් ගෙන නුඹ වැනි උතුමාණ කෙනකුන්ට අපරාධ කෙළෙමි, ගැත්තවු කළ වරද ක්‍ෂමා කළ මැනැවැ”යි කිය කියා එකත්පස්ව හුන්නේය. එ කෙණෙහි ස්වාමිදරුවෝ ඕහට බණ වදාරා සෝවාන් කොට “දරුව, දෙවිදත්හු කී මඟ ගියානම් තොපට අන්තරායෙක් පෙනෙයි! අනික් මඟෙක යව”යි ඕහට සමු දී වදාළ සේක.

ඉක්බිත්තෙන් ඔහු මරම්හ යි සිටියා වූ දෙදෙන, සිට වෙහෙසී ඔහු නොදැක “කාරණ කිම් දෝ හෝ”යි පරීක්ෂා කරන්නාහු ගොස් බුදුන්දුටහ. සතර දෙනද, අට දෙනද, සොළොස් දෙනද, එම ක්‍රමයෙන් ගොස් බුදුන් දැක බණ අසා සෝවාන් ව, නිදුක් ව, නුවරට ගොස් එත්තිස් දෙන ම ඔවුනොවුන් හා මන්ත්‍රණය කොට තමන් තමන්ට මරණ යෙදූ නියාවත් බුදුන් නිසා දිවි ලත් නියාවත් දැන දෙවිදත්හට පරිභව බැණ බැණ “ගිහිගෙයි නො රඳම්හ”යි අඹුදරුවන්ට කළමනා සංග්‍රහ කොටලා එක්තිස්දෙනම බුදුන් කරා ගොස් බණ අසා රහත් ව එහි භික්ෂුභාවයෙන් පැවිදිව, එක්තිස් මහතෙරව, එතැන් පටන් එක්තිස්තල වාසින්ට ශාන්ති පිණිස ම, බුදුන් විසින් ඇතිකළාවූ ශ්‍රාවක එක්තිසක් සේ, එක්තිස් මහතලයට නඟාලු එක්තිස් මහා ධ්වජයක් සේ, දෙවිමිනිසුන් කෙරෙහි ප්‍රසිද්ධ ව බුදුන්ට උත්තම ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

මෙසේ තමන් වහන්සේ විද මරම්හයි ආ දුනුවායන් පවා තමන් වහන්සේ මරන්නා තබා, තමන්වහන්සේට උපද්‍රවයෙක් වේනම්, තමන් වහන්සේට පළමුකොට අපගේ ජීවිතය දෙම්හ යි සිතන තරම් මහත්වූ ප්‍රේම උපදවා ගෙන, ඔවුන් විසින් කරනලද ජීවිතාන්ත ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

දෙවිදත් බුදුන්ට ගලක් පෙරළීම

තව ද: දෙවිදත්හු දුනුවායන්ලවා බුදුන් මරවා ගත නොහී වැළි “අනුන් ලවා මරවන්ට බැරි බැවින් මම් ම සිය අතින් බුදුන් මරමි”යි සිතාලා දවසෙක ස්වාමිදරුවන් එම ගිජ්ඣකූට පර්‍වතච්ඡායාවෙහි සක්මන් කරන්නා දැක, තෙමේ පර්‍වත මුදුනට නැගී බුදුන් සිඛාවට මහ ගල් පර්‍වතයක් පෙරළා පීය. එ වේලෙහි නායක් සැලුවා සේ ඒ පර්‍වතය ගලින් ගල ගැසී, ගල් ලැහැල්ලක් උපුර උපුරා බුදුන්කරා දිවේ. ස්වාමිදරුවෝ දෙවිදත්හු තමන් වහන්සේ ඉසට ගල පෙරළූ බවුදැන “මේ කෙසේ වූ අකුශලයෙක් දෝ හෝ”යි සසර බලා පෙර තමන් වහන්සේ සසර දී වෙමාතික භාතිකයක්හු ධනලොභයෙන් ගිරිදුර්‍ගයෙකින් හෙළා පතුල් නොයා හැකි සේ තළා කළා වූ අකුශලය ද, සසර දුක් දී එ තැන්හි මූලොච්ඡින්න වන බවු දැන මහා කරුණා සමාපත්තියට සමවැද විදුරු පොළොවෙක ගලා හිඳු වූ වජ්‍රඛීලයක් සේ නිශ්චලව වැඩ සිටි සේක.

එ කල පර්‍වතය දිව අවුදින් යුගාන්තවාතයෙන් දිවු මහ පවුවක් සේ අවුත්, ස්වාමිදරුවන්ගේ ශිරොධාතුයෙන් පැනනැඟී දිලියෙන වඩුරියන් උස කේතුමාලා නම් රශ්මිකදම්බයෙහි ගැසි ගැසී පවන් වේගයෙන් සැලෙන අහස්පතක් සේ, වෙවුල වෙවුලා සිටගත. එ කෙණෙහි පොළොව පළා ගල්කුළු දෙකක් පැන නැඟී ඒ පර්වතය පිළිගෙන සිටගත.

මාගේ ස්වාමිදරුවන් සසර ඇවිදිනා කල පවා ස්ත්‍රිය පර්‍වත මුදුනෙන් හෙලාපු දා, ගොයි පවා පිට දී ඔබට දුක් වැද්ද නො දෙන කල, පූර්ණක නම් යක්‍ෂයා සැටයොදුන් කාළගිරිපර්‍වතයෙන් හෙළාපූ දා ඔබ මුහුණ පියුමක් සේ තිබූ කල මණිචොර ජාතකයෙහි ඉස කපන්නට ය යි ඔසවා ගත් පොරොව පෙරළී රාජාභිෂේකයට පැමිණි කල, දැන් සමතිස් පැරුම් පුරා නිමි සමයක් වු ව, අමා මහ නිවන් දුටු සමයක් වු ව, තුන්ලෝවාසින් දරු කොට ගත් සමයක් වු ව, ලොවුතුරා බුදු ව මරහු මන් බිඳපු සමයක් වු ව, ඔහු දැමූ චක්‍රායුධය අහස්වියන් කොටපූ සමයක් වු ව, අලවු යකු දැමූ වෙලායුධය පවා පාබිසි කරපූ සමයක් වු ව, දෙතිස් අසූ ලකුණෙන් රූසිරි ලද සමයක් වු ව, හිරි මඬලක් සේ සවනක් රසින් දිලියෙන සමයක් වු ව, මී කත සාධුකාර දෙන සමයක් වුව, මහමෙර සත්කුල පවුවන් අතින් වැඳුම් ගත් සමයක් වුව, තවුතිසා භවනයට තුන් පියවරකින් වඩිනා තරම් ඍඬිබල ඇති සමයක්වුව, දශවිධ වූ ඥානබල ලද සමයක් වුව, තුදුස් බුද්ධකාරක ධර්‍මයෙන් යෙදී සැදී ගිය සමයක් වු ව, දෙවි බඹකැලන් කළ පූජා ලද සමයක් වු ව, සදෙවුලෝ වැසි දෙවියන් අතින් මෙහෙ ගන්නා සමයක් වු ව, මහබඹුන් ලවා කුඩ අල්ලවාපු සමයක් වු ව, ඔහු බුදුන් හිසට පෙරළූ ගල අහස සිටගත් නියාවත්, පොළොවින් නැගි ගල් එ ගල පිළිගත් නියාවත්, මාගේ ස්වාමිදරුවන් නිල්වලාකුලක් යට දිලියෙන පුන්සඳක් සේ වැඩ සිටි නියාවත්, මට කවර ආශ්චර්‍යයෙකැයි කියම් ද; එ කෙණෙහි වන දෙවියෝ සාධුකාර නාද සහස්‍රයෙන් පූජා කළහ.

ඉක්බිත්තෙන් දෙවිදත් “මහණ භවත් ගෞතමයෝ පර්‍වතයෙන් ගැහැටී සුණු විසුණුව ගියේ දෝ ය, කෑ සේ නපුර, පූ සේ නපුර, උන් සේ නපුර, සිටි සේ නපුර යනාදීන් බසෙහි බසෙහි දොස් දී ඇවිදිනා ගමන්හි රිය ගිය දෝ යි, අප වැනියන්ට පවා අගසවු තනතුරු නො දී බැහැරින් ආ බමුණන්ට තනතුරු දීමට රිසි පැලැ දෝ යි, අද මාගේ මනදොළ සිද්ධ වී ය”යි සතුටු සතුටු ව බලනුයේ තමන් පෙරළුෑ ගල බුදුන්ට ළඟාවිය නුහුණු නියාවත්, ගින්නෙහි ලූ ය පාලමක් සිසාරා නැගෙන වහ්නිජාලා සේ ගල සිසාරා බුදුරස්කඳු නැගෙන නියාවත්, ගල ද බුදුරස්හි රන්වන් ව දිලියෙන නියාවත්, සිතුමිණිරුවනක් සේ දිලියෙන බුදුරුවත් දැක උපන් මහා සෝකයෙන් සුසුම් ලලා තමාගේ වෙහෙරට ම පලා ගියේය.

මෙසේ තමන් වහන්සේ සිරසට පෙරළූ සිත් පෙවෙත් නැති ගලින් පවා සේසත් පූජා ලත් හෙයිනුත්, එසේ වූ අචේතනික වස්තුයෙනු දු, පවා පූජා ලබන ඍඬිබල පින්බල ඇති හෙයිනු දු පූජා ලබන තරම් සෘද්ධිබල ඇති හෙයිනු දු මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

නාලාගිරි ඇතු මෙහෙයවීම

තවද: දෙවිදත් “බුදුන් කෙසේ පිටි දකිම් දෝ හෝ” යි උත්සාහ කරනුයේ අනික් උපදෙසක් දැක එ දවස් අජාසත් රජහු කරා පලා ගොස් නිකට අත් තබා ශෝකාතුර ව සුසුම් ලලා මුහුණ බුමාගෙන සිටියේ ය. මේ කාරණ දුටු රජහු විසින් “ස්වාමීනි! නුඹට කුමන ශෝකයෙක් දැ”යි විචාළහ. දෙවිදත් කියනුයේ “මහරජ! තොප සිත ඇත්ත සෑදින, අප පින් මඳ හෙයින් අප සිත ඇත්ත නො සෑදෙයි, තොප ඇතත් නැත්තා හා සමවුව, බුදුන් මරවාපිය නො හෙන කළ තොපගෙන් අපට කම් කිම් දැ”යි කී ය. එ බසට “නුඹ කළ කළ දෙයින් බුදුන්ට වැඩ වන බවක් මුත් අවැඩක් වන්නා නැත. තවත් කීවක් කෙරෙමි”යි කී කල “යහපත උපදෙසෙක් ඇතැ”යි කී ය. එ බසට රජ්ජුරුවෝ සිනාසී “වහන්ස! නුඹගේ උපදෙසෙහි කෙළවරක් නැත, තවත් බුදුන්ගේ ම පින් මහිමයක් දක්වා පියන උපදෙසෙක් දැ”යි කීහ.

දෙවිදත් “මීට වඩනා උපදෙසෙක් නැත, තොපගේ නාලාගිරි නම් මතැත් චණ්ඩ ය, පරුෂ ය, කාරණාකාරණ නොදන්ති. බුදුන්ගේ රූ විභාග නො දන්ති, දහම්හි රස නො දන්ති. තිරිසනු හෙයින් බුදුහු ඔහු නිවන් දක්වාගත නො හෙති, ඔහු මට පාවා දුනු නම් බුදුන් මරවා ගනිමි”යි කීය. රජහු යහපතැයි ගිවිස ඇත් ගොව්වන් තමහට පාවා දුන් කල්හි එම විට ම ජ්‍යෙෂ්ඨ ඇතරුවා අත අල්ලාගෙන රජගෙන් පිටත්ව, “තෝ මා සිතුවා සාදා දීලී නම් අප රජහුගේ සේසත හැර තා කැමැති සැපතක් ඉල්වා දීලමි”යි කීය. “නුඹ කී යම් ම දෙයක් කෙරෙමි යි වදාළ මැනැවැ”යි ඔහු කී කල “එසේ වී නම්, මට සිත ඇත්තෙහි නම්, බුදුන් ගෙට සිඟා වීථියට එන වේලාවට තාගේ නාලාගිරි නම් මතැතු මෙ තෙක් දවස් පොවන රා අට කළයට දියුණු කොට සොළොස් කළයක් රා පොවා, ඇත්කොහොලින් ඇන කෝප උපදවා බුදුන් ඉදිරියට මෙහෙයා බුදුන් මරවාලය”යි කී ය. එ බසට ඇතරුවා හා පන්සියක් ඇත්ගොව්වෝ යහපතැයි ගිවිස “සෙට අපගේ බල බැලුව මැනැවැ”යි වාසි කීහ.

එබසට දෙවිදත් සමාධි ව ඔවුන්ම අත්ලස් දී මෙසේ සංවිධාන කොට ගියේ ය. මෙ බස් ක්‍රමක්‍රමයෙන් මුළු නුවර සැල ව ගියේ ය. මනුෂ්‍යයන් අතින් භූම්‍යස්ථ දෙවියන් කරා ගියේ ය. ඔවුන් කෙරෙන් ආකාශස්ථ දෙවියන් කරා ගියේ ය. ඔවුන් කෙරෙන් වරම් රජදරුවන් කරා ගියේ ය. මෙම ක්‍රමයෙන් සදෙවුලෝ වැසි දෙවියෝ ඇසූහ. පසළොස් බඹලොව බ්‍රහ්මයෝ ඇසූහ. මෙසේ තුන්ලෝ වැසි දෙවියෝ දෙවිදතුහු සෙට කරන සොරකම අද ම අසා “අප බුදුන්ගේ සෙට මහත් වූ බුද්ධ ශ්‍රී විභුතියක් පහළ වෙයි මනෝහර වූ දේශනාවකු දු වෙයි” යනාදීන් කිය කියා උත්සවයට පටන් ගත්හ. ඉක්බිත්තෙන් සැදැහැ ඇතියෝ පස්වරු බුදුන් කරා ගොස් වැඳ “ස්වාමිනි! දෙවිදත්හුගේ ප්‍රයෝගයෙන් සෙට නුඹ වහන්සේ සිඟා රාජවීථියට බට කල නාලාගිරි නම් මතැතු නුඹ කරා මෙහෙයෙති යි යන බසෙක් සැල විය. ගැත්තවුන්ට අනුග්‍රහ කොට සිඟා නොවැඩිය මැනව, වෙහෙරට ම දන් බාම්හ'යි ආරාධනා කළහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ “සෙට බොහෝ දෙනාට වැඩෙක් වන වනැ යි, බුදුන්ගේ මහත්වූ ආනුභාවයෙක් බොහෝ දෙනා දක්නා වනැ යි, පෙර මා සසර හස්ත්‍යාචාරී ව පසේ බුදුන් දැක කෙළි නිසා ඔබ කරා ඇතු මෙහෙයා භය ගන්වා කළා වූ ක්‍රීඩා පාපය ද සෙට විපාක දී නිමන දවසෙක් වනැ”යි සිතා වදාරා “ඊට නිහඬ අපි දන්නමෝ වේදැ”යි වදාරා “තෙපි යව”යි උපාසකවරුන් යවා තමන් වහන්සේගේ පඤ්ච මහා බුද්ධකෘත්‍යයෙන් ඒ දිනය අතික්‍රාන්ත කොට උදය කළමනා සියලු බුද්ධකෘත්‍යය සම්පාදනය කොට ගන්‍ධකුටියෙන් ප්‍රවිෂ්ට ව, රත්මෙරක් සඳවලාගබෙකින් වසන්නා සේ තමන් වහන්සේගේ අසාධාරණ පාංශුකූල චීවරය ධරා පාත්‍ර ධාතුව ශ්‍රීහස්තයෙන් ගෙන, මහ මේගබින් නිකුත් පුන්සඳුගේ ලීලාවට අපහාස කෙරෙමින් ගන්‍ධකුටියෙන් බාහ්‍යව ගඳකිළි පිරිවෙන්හි වැඩසිට, අනඳ මහතෙරුන් වහන්සේ කැඳවා “ආනන්‍දය! මාගේ මේ වෙළුවනාරාමය පිරිවරා සිටි අටළොස් මහ වෙහෙර සඟුන් රැස්කර, අද ශ්‍රාවකයන් හා සමඟ එකමඟ සිඟා යෙමි” යි වදාළ සේක. ඒ කෙනෙහි අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන් වදාළ තෙපුල් මුදුනෙන් පිළිගෙන අටළොස් මහා විහාරයට ගොස් මෙ පවත් ශ්‍රාවක ගණයාට සැලකළ සේක.

එ කෙණෙහි පන්සියක් පන්සියක් සඟපිරිස් පිරිවරා අසූ මහ සවුවන් වහන්සේ ම අවුදින් රන්මෙරක් වටා සිටගත් හිරි මඬුලු අසූවක් සේ සඳමඬුලු අසූවක්සේ බුදුන්පිරිවරා සිටගෙන ස්වාමීනි ස්වාමිදරුවන්ගෙන් අදහසක් ලදුමෝ නම් අද මේ හස්ති දමනය අපි කරම්හ, අපි කරම්හ, නන්දෝපනන්‍ද දමනයෙහි මුගලන් මහ තෙරුන් නුඹ බල පෑවා සේ ම අපි අපි දු අද නුඹගේ බල දක්වා ඒ හස්තීහු දමා පෙළහර දක්වම්හ'යි මෙසේ අසූ මහ සව්වන් වහන්සේ ම වෙන වෙන ම වාසි කියා බුදුන් අතින් අවසර ඉල්වූ සේක. ස්වාමිදරුවෝ සිංහ මුළක් බලන සිංහරාජයකු සේ ශ්‍රාවකයන් මුහුණ බලා “මහණෙනි! අද බොහෝ බුද්ධ වෙනෙය්‍යයන්ගේ මඟුල් දිනයෙක, එසේ හෙයින් තෙපි තෙපි මා හා කැටි ව එව, ප්‍රාතිහාර්‍ය්‍ය පිළිවන් වේ දැ”යි වදාළ සේක.

එ කෙණෙහි නුවර වැසියෝ දෙභාගයක් ව බෙදී මිථ්‍යාදෘෂ්ටි ගතුවෝ “අද මහණ භවත් ගෞතමයන්ට මිහිරි කථා කියා බදා ගන්නට මිනිසෙක් නො වේ දෝ ය, රා මද නැඟි ඇතෙක් දෝ ය, ඌට දහමින් කම් නැද්දෝ ය, උන්ගේ සුරුකම් අද බලම්හ, දැන් දක් පර්වතයකට හසු වූ මැසිපිලාවකු සේ ඇත් පයින් මිරිකා දමයි. දළින් ඇන අහසට දමා අනුන් දැමීමට රිසි පලවයි, අද අපගේ සතුරා සිටි දක්නා මඟුල් දවසෙකැ” යි කිය කියා කුල්මත් වූහ. සම්‍යක් දෘෂ්ටි ගතුවෝ බුදු බල දන්නා හෙයින් “අපගේ ස්වාමිදරුවන්ට ඇතෙක් නම් කුමක් කෙරේ ද, ඔබ කෙළදහසක් ඇතුන්ගේ බල ඇති වුව. මරහුගේ ගිරිමෙවුලා නම් මතැතු පවා දණ බිම අන්වා ලුහුබඳවා පුව, අද අපගේ බුදුන්ගේ මඟුල් පෙළහර දිනයෙකැ”යි කිය කියා උත්සවයට පටන් ගත්හ.

එ කෙණෙහි ම එ නුවර සියලු සත්ත්‍වයෝ වැසි ගිගුම් ගත් මහ මුහුද සේ හැළළී සිට, මැසි පිට මැසි බැඳ නැඟී එ සේත් බිම් මද හෙයින්, පවුරු අටලු සඳලු මහරුක් ගේපලවල නැඟී පොළ පොළ ව උනුන් යත යතා ගැහැටි ගැහැටී මහ වේ සිස් කොට “වතුරු දිය නැඟු කල්හි අතුරු නැති ව අතුපතුවලට නැඟී පිරී හුන් කුහුඹු කැලසේ’ ගේපල බිඳ නමා පියන්නා සේ ගහන ව සිටියහ. එ කෙණෙහි ආකාශයෙහි සිතියම් කළ වියනක් සේ තුන් ලෙවුහි දිවු දිව්‍යසේනාව ද ගැහැටි ගැහැටී සිටගත්හ. ඒ සා රාජවීථියෙහි “ඇතු දැන්දක් අරිති, දැන්දක් අරිති”යි කීය කියා එක මනුෂ්‍ය කෙනකුත් නැති ව සිස් වි ය. එකෙණෙහි සමහරු “අද බුදුහු නො වඩිත් ම ය”යි කියති, සමහරු “දැන්දක් බුදුහු වඩිති”යි කියති, සමහරු බුදුන් පෙරමඟ බලති, සමහරු ඇතු පෙරමඟ බලති.

එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ කෙසරුබර සලා දී මතැතක්හු කරා දිවන කෙශර සිංහරාජයකු සේ සතලිස් දහස් පන්සිය එකාසූවක් පමණ සංඝ සමූහයා පිරිවරා සවනක් රසින් තුන්ලෝ රැළි දෙමින්, නැඟු නැඟු පියෙහි පියුම් දක්වමින්, බැලු බැලූ දෙසෙහි සාධුකාර දෙවමින්; ශ්‍රී මුඛයෙන් නිකුත් දසනගරසින් සියලු ජනයන් කිරිමුහුද ගල්වමින් බැණ නැඟි බසින් කන කන අමා පුරවමින්, මහපෙළහරින් වැඩ වාසල් දොරට පැමිණ දකුණු ශ්‍රී පාදය ඉන්ද්‍රඛිලයෙහි තබා වදාළ සේක. එකෙණෙහි පඞ්චාඞ්ගුලියෙන් දිවු බුදුරස් කඳු පසෙක් ඇතු බඳිනට දැමූ රිදීයොත් පසක් සේ දිව මුළුනුවර ව්‍යාප්ත ව සියලු සතුන්ට බුදුන් නුවරට වන් බව පහළ කෙළේ ය. ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ නඛරශ්මි ජාලයෙන් පරිශුද්ධ වූ රාජවීථියට බැස මහසවුවන් පිරිවරා ගෙපිළිවෙළින් සිඟන්නට පටන්ගත් සේක.

එ කෙණෙහි ඇත්ගොවුවෝ ඇතු සොළොස් කළයක් රා පොවා මත් කොට, නියපිට ගල් ගසා කොහොලින් ඇන කුප්වා, සක් සින්නම් ඩවුර බෙර ඩහර බෙර එකවිට අතෙව මහත් වූ අර්ගල කොට ගිනිපිට තෙල් නැමුවා සේ ඇතු ඉදවූහ, එ කෙණෙහි ඇත් කල්පාන්ත ගිනිකඳක් සේ කිපී මහහඬින් ගුගුරා එක පහරින් පා මැසු දම කඩා, ඇත්හල ඇන හෙළා සුණු විසුණු කරමින් යමුඟුරෙන් පොළොව අපොළන්නා සේ සොඬ බිම ගස ගසා, කඹය කඩා සොඬ හස්සෙන් හොසවා ගෙන, ගැසූ පයින් පස්කඳු කඩා පිටට දම දමා, දුටු දුටුවන් ලුහු බඳවා හසු හසුවූවන් දළඟින් ඇන දම දමා, පවුරු කණයම් බිත්ති පදනම් ඇන දම දමා, මහසෙණක් සේ වීථිමධ්‍යයට වැද ගිය. අබෞද්ධයෝ ඇතු දිවන වේගය දැක සතුටු වන්නට පටන් ගත්හ. ශ්‍රද්ධාවන්තයෝ කුමකින් කුමක් වේ දෝ හෝ යි සැක සිතන්නට පටන් ගත්හ. පෘථග්ජන වහන්දෑ “ස්වාමීනි! මදනැඟී ඇත් දිවන්නේ ය, ඒ නුඹවහන්සේගේ ගුණ නොදත්ති, මඳක් ඇළවෙලා වැඩ සිටියොත් යහපතැ”යි කියන සේක. ස්වාමි දරුවෝ සිනා පහළ කොට මුඛයෙන් නික්මුණු දසනගරසින් සියලු වීථිය සදමින් ඇතු ඉදිරියට සන්හුන් ගුණෙන් වඩනාසේක් ම ය.

එ කෙණෙහි අනඳ මහ තෙරුන් වහන්සේ දීර්ඝකාලයෙහි තමන් වහන්සේ බුදුන් කෙරෙහි අවිනෂ්ට ව කළා වූ මහ පෙම් වතුරු රඳවා ගත නොහී දෑස් පිරුණු කඳුළෙන් “මේ ඇත් මා පළමුව මරා මුත් මාගේ බුදුන් නො මරාව”යි කිය කියා ඇතුටත් බුදුන්ටත් මධ්‍යයෙහි ගොසින් සිටගත් සේක. බුදුහු “ආනන්‍දය! ඇළ ව යා, ඇළ ව යා, ඇතෙක් මට කුමක් කෙරේ ද, තා බොළඳ ඇයි ද, මා බල නුදුටු විරී දැ”යි වදාරන සේක. බුදුන් එසේ වදාරතුත් අනඳ මහ තෙරුන් වහන්සේ ඇළ නො වන සේක් ම ය. එකෙණෙහි බුදුන්ගේ ආනුභාවයෙන් පොළොව කුඹල් සකක් සේ පෙරළී උන්වහන්සේ පසුකොට බුදුන් වහන්සේ පළමු කෙළේය. නැවත අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන් පළමු වූ සේ දැක ඇතු ළං වන සේ දැක, ඉදිරියට දිව බුදුන් පසුකොට පියා ඇතු ඉදිරියෙහි සිටගත් සේක. එ විට ද පොළොව පෙරළී උන්වහන්සේ ම පසු කෙළේ ය. මෙසේ ම තුන් වාරයෙක්හි ම බුදුන් පසු කොට ඇතු පෙරට වූ සේක. තුන්වාරයෙහි ම පොළොව ම සිසෑරී උන්වහන්සේ පසු කොට බුදුන් වහන්සේ පළමු කෙළේ ය.

එ කෙණෙහි ප්‍රිය පුතකු වඩාගෙන “ඇත් කෙළි බලමි”යි වීථියට බට ස්ත්‍රියක් ඇතු දිවත් දිවත් ඇතු කෙරේ කළ භයින් වෙවුලා මරණ සංඥාවෙන් පුත්‍රසංඥාව සිහිකොට ගත නොහී, බුද්ධපූජාවට මල්දමක් දැමුවා.සේ, පුතු බුදුන් හා ඇතු මැදට දමා තොමෝ කෝවේයකට වැද ගියා ය. එ කෙණෙහි කුමරු අනික් ශරණක් නො දැක බුදුන් දිසාව බල බලා මහහඬින් හඬන්නට පටන් ගත. ඇත් ගිනි කඳක් සේ කිපි කිපී බුදුන් කරා දිවනුවේ කුමරහු දැක ඔහු කරා දිවී ය. එ කෙණෙහි ස්වාමිදරුවෝ මිණිරුවනකට තුඩ දිගු කරන නාරජකු සේ කුමරහු කරා අත දිගු කරන ඇත් රජු දැක “මා පැමිණියා වූ මේ වීථියෙහි මේ මද නැඟි ඇත් කිහිඹියක ගහටා මරාපී නමුත් මාගේ කවර නම් බුද්ධානුභාවයෙක් දැ”යි සිතා වදාරා තමන් වහන්සේගේ කරුණා නමැති අකුස්සෙන් පැහැර ඇතු රඳවාලා “නාලාගිරිය! තා මේ වීථීයට හළුයේ තෙල කුමාරයා නිසා නො වෙයි, අප නිසා ය, ඌ කරා නො ගොස් අප කරා වරැ”යි වදාළ සේක.

එ කෙණෙහි මාගේ ස්වාමිදරුවන්ගේ මධුරනාද නමැති හස්ති කාන්ත වීණා නාදය ඔහු කන වැටී යාම හා සමඟ ම ඔහුගේ රාමද සිඳී ගිය, එ තෙපුල් නමැති අමාහැල්ලෙන් කෝ ගිනිකඳ නිවී ගිය. එ කෙණෙහි කුමරහු හැර බුදුන් දිශාවට කර නමා බුදුන් බලනුයේ දෙතිස් අසූ ලකුණෙන් හා සිසාරා සිටි බැමමඬුල්ලෙකින් හා ආකාශයෙහි පිපී වැනී ගිය තරුකැලයක් සේ පිරිවරා සිටිනා රහත් පෙළකින් හා පුන් සඳු සේ දිලියෙන ස්වාමිදරුවන්ගේ ශ්‍රී විභූතිය දැක, සඳරස් දුටු කුමුදු කැලයක් සේ සියලඟ සන්තෝෂයෙන් පිනවමින් බුදුන් කරා දිව එකෙණෙහි ම හිරිඔතප් ලද නියාවට කාරණ පෑවා සේ වාලධිය අමුඩු හස්සෙහි ගන්වා ගෙන, වක ගස ගසා සොඬ හකුළ කටලා ශ්‍රී පාදය සොඬින් පිරිමැද මැද බුදුන් පාමුල්හි වැද හොත්තේය.

එ කෙණෙහි පාද නඛරශ්මින් අඳුන් කුලක් වන් ඇතු, රිදී කුළක් වැනි ව ගිය නියාව ඔබගේ ම තුන්ලෙව්හි ව්‍යාප්ත වූ යශස කිසි තෙනෙක්හි රඳාලිය නො හී නැවත ඔබ කරා ම අවුදින් ඔබ පාමුල්හි ම හස්තිරූප ව්‍යාජයෙන් පතිත වූවාක් වැන්නැ යි සිතමි. එ කෙණෙහි දෙවිමිනිසුන් දුන් සාධුනාද පූජාවට තුන්ලෝ කුඩා ව ගියේය යි සිතමි. සියලු ජනයන් හන් පලන් වස්ත්‍රාභරණ දමන්ට පටන්ගත් නියාව දෙවියන් වස්වන රුවන් වර්ෂාව වැන්නැ යි සිතමි. නාරිලතා වෙනෙහි පවන් වේගයෙන් පත් සැලෙන කලක් සේ, රන්ලිය වන් ලියෝ, රුවන් පලඳනා කඩා දමන්නට පටන් ගත්හ. දහස් ගණන් සිවුමැදිරිවල දොර හැර මුව පියුම් පිටත් කොට බලන්නා වූ උත්තමාඞ්ගනාවන්ගේ කොඳ කැකුළුවන් දන්ත පංක්තීන් පෙනෙන නියාව බුදුන්ගේ යසරැස් කට දක්වා උකා බීපු වේලෙහි මුඛයෙන් ඉතිර ඉතිර වැගිරෙන්නාක් වැන්නැ යි සිතමි. දහස් ගණන් යෞවන ස්ත්‍රීන් උපන් සන්තෝෂයෙන් උතුරුසළුදමා පයෝධර භාරයෙන් ඇතු පිරිවරා සිටිනා නියාව මල්සළුහෙළා මල් සුවඳින් පුදා ගහන ව සිටිනා රන්පෝරුවින්නක් වැන්නැ යි කියාත් සිතමි.

පෙර ඒ ඇතු දුටු කල හඬ ගසා ඒ ඒ දිග්හි දිවන කුඩා කෙලි කොල්ලන් දිව අවුදින් ඇතු කෙරේ භය නැති ව අත්සුං ඇතුපිට ඔබ ඔබා ඇතු ඇඟ වැතිර සිටිනා කෙළනා නියාව හස්ති නමැති මහාජඹුවෘක්‍ෂය සිසාරා පැන නැගී ස්වර්ණාඞ්කුර සමූහයකැ යි කියාත් සිතමි. රිදී කුළුවල හංස පැටවුන් කෙළිනා සේ භය නැති ව දළ වැළඳ ගෙන කෙළනා බාල දරුවෝ කෙතෙක් දෙන ද; තුඹසක් පිටට නැඟී අවු තපිනා නයින් දහස් ගණන් සේ ප්‍රිතීන් පිනා ඇතු පිටට කඩා දමාපු ඒ ඒ තැන්හි රැළි දී තිබෙන මුක්තාහාර කෙතෙකැ යි කියම් ද; එ දවස් සත්ත්‍වයන්ට උපන් සන්තෝෂ හා, කරන උත්සව හා, බුද්ධපූජා හා, ඔල්වරසන් හා, අත්පොළසන් හා, වෙන වෙන කියම් නම් මාගේ සියක් දහස් ලක්‍ෂ ගණන් මුඛ නැති හෙයින් එක මුඛයෙකින් කියා නිමවාගත නො හෙම් ම ය. එ නුවර අටළොස් කෙළක් මනුෂ්‍යයන් තුන් ගවුවක් දිග ඒ එක රාජ වීථී කෝවෙහි කෙසේ සැලසී සිටි බවත් නො දනිමි, තුන්ලෙව්හි දෙවියන් ඒ එක නගරාම්බරයෙහි කෙසේ සිටි බවත් නො දනිමි. මිථ්‍යාදෘෂ්ටි ගතුවන්ගේ මුහුණු හැඹුල් මැඩගත් දෙසිලෙලිසේ හැකිළ ගියේ ය, සම්‍යක් දෘෂ්ටි ගතුවන් මුහුණු හිරි රස් දුටු මහපියුම් සේ පිපී ගිය.

එ වේලෙහි ස්වාමිදරුවෝ කළු මලස්නෙක රත්පියුමක් තබන්නා සේ ඇත්කුඹ මතුයෙහි සුරක්තවූ ශ්‍රීහස්තය තබාලා “තව ද අද්භූත වූ පෙළහරක් ලෝකවාසීන්ට දක්වා මේ තිරිසන් වූ ඇතු කථා කරවා ඕහට පන්සිල් දෙමි”යි සිතාලා තමන්වහන්සේ දැන් බුදු වූ කල තබා පෙර සසර දී ගොම පැණියන් ලවා අස්සක රජු හා කථා කරවාපු මහත් වූ ආනුභාව ඇති හෙයින් “මේ ඇත් තමාගේ තිරිසන් භාෂාව හැරපියා මනුෂ්‍ය භාෂායෙන් හැමදෙනාට තේරෙන සේ පන්සිල් ගනීව”යි අධිෂ්ඨාන කොට ලා “දරුව නාලාගිරිනි! පන්සිල් ගනුව”යි වදාළ සේක. එ කෙණෙහි නාලාගිරි ඇත් මනුෂ්‍ය භාෂායෙන් හැම පිරිසට ඇසෙන සේ ‘“යහපත ස්වාමිනි”යි කී ය, එ බස හා සමග අටළොස් කෙළක් මනුෂ්‍යයෝ එක පැහැර ම සාධුකාර දුන්හ. දෙවනු ව “බුදුන් සරණ ගණැ”යි වදාළ සේක. ඇත් “බුදුන්සරණ ගතිමි ස්වාමිනි”යි කී ය. “දහම් සරණ ගණැ”යි වදාළ සේක. ඇත් “දහම් සරණ ගතිමි ස්වාමිනි” කීය. “සඟුන් සරණ ගණැ”යි වදාළ සේක. ඇත් “සඟුන් සරණ ගතිමි ස්වාමිනි”යි කී ය. “පණිවායෙන් විරමණය කරව’”යි වදාළ සේක. ඇත් “පණිවායෙන් විරමණය කෙළෙමි ස්වාමිනි”යි කීය. “අදත්තාදාන විරමණය කරව”යි වදාළ සේක. ඇත් “අදත්තාදාන විරමණය කෙළෙමි ස්වාමිනි” යි කී ය. “පරදාර විරමණය කරව”යි වදාළ සේක. ඇත් “පරදාර විරමණය කෙළෙමි ස්වාමිනි”යි කීය. “මුසාවාද විරමණය කරව”යි වදාළ සේක. ඇත් “මුසාවාද විරමණය කෙළෙමි ස්වාමිනි’”යි කී ය. “සුරාපාන විරමණය කරව”යි වදාළ සේක. ඇත් “සුරාපාන විරමණය කෙළෙමි ස්වාමිනි”යි කී ය. මෙසේ ඔහු ශරණශීල- පඤ්චශීලයෙහි පිහිටුවා ස්වාමිදරුවෝ දෙවිමිනිසුන්ගේ තව ද ධර්‍මලොභ ඇති සේ දැන මහ පිරිසට බණ වදාරා එ කෙණෙහි සුවාසූදහසක් ප්‍රාණීන් අමාමහ නිවන් දක්වා ලෝවැඩ කොට වේළුවනාරාමයට ම වැඩි සේක. නාලාගිරි ඇත් ද එ තැන් පටන් සැදැ ඇති ශික්‍ෂිත හුදියකු සේ රා බින්දුවකුත් නොබී, ප්‍රාණයකුත් නො නසා, පඤ්චශීලය-ශරණශීලය අඛණ්ඩකොටම රක්ෂා කෙළේ ය.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ මහත් වූ පෙළහරින් දෙවිමිනිසුන් විසින් කරන ලද පූජා ලබන පින් බල ඇති හෙයිනුත්, නාලාගිරිහු වැනි තිරිසනුන් පවා දමා ඔවුන් විසින් දිවි පමණින් කරන ලද ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ බුදුහු මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක.

ඉක්බිත්තෙන් ස්වාමිදරුවන්ගේ මේ අසාධාරණ වූ පෙළහර දුටු රජු කෙරෙහි වල්ලභ වූ අමාත්‍යයෝ එ දවස් රජු කරා ගොස් බුදුන්ගේ ගුණ වර්ණනා කොට, දෙවිදත්හුගේ නුගුණ වර්ණනාකොට, “දේවයෙනි! දුර්ජන වූ දෙවිදත්හුගේ බසින් තොප බුදුන්ට අනර්ථ කරන සේ නපුර, ඔහුගේ ම සමවායෙන් පිතෘඝාතක කර්‍මය කොට දැන් අවීචි මහ නරකයට නියැලී සිටියව. බුදුන්ට ද අනර්ථ සිතා ඊටත් වඩා පවු රැස් කරව, තොපි තොප නසන සතුරකු වැනියව. දෙවිදත් තොප නසමි යි ආ සතුරකු වැනියේය. දෙවිදත් නමැති කුඩා කොල්ලා සිත් සේ කෙළනා වූ තෙපි පෙතැලි රුවක් වැනියහ. දෙවිදත් නමැති ළදරුවා අතට පැමිණි තෙපි ලාලී වටක් වැනියව. කපුටුවන්ට කොසඹ පක් අමා වූවා සේ, දෙවිදත්හුගේ ගුණ තොපට ම මිහිරි වූ සේ මැනැවැ”යි නො එක් ප්‍රකාරයෙන් බැණ රජහු ලජ්ජා කැරවූහ. එකල අජාසත් රජ මහත් වූ ලජ්ජා ඇතිව දෙවිදත් හට කිපී ඕහට තමාගෙන් දවස්පතා දෙන පන්සියක් බත් වසුන් කඩවා පී ය. එතැන් පටන් දෙවිදත් ලාභයෙන් පිරිහිණ. ලාභය පිරිහුණු හෙයින් පන්සියක් පර්ෂද් ඒ ඒ දිග්හි ඔහු හැර ගියහ. එසේ හෙයින් පරිවාරයෙනු දු පිරිහිණ.

දෙවිදත් එ කල එකලා ව වසුන් සුන් දා සුසුම් ලලා නුවර සිඟා ගියේය. එ කල නුවර වැසියෝ මොහු දැක “සවත් මේ නුවර ඉඳ බත් කයි දැ”යි කිපී ගල් ගසා පාත්‍රය බිඳ පිටතට නෙරියහ. දෙවිදත් අනික් වදනා අතක් නැතිව “එතෙකින් බුදුන් මුත් මට අනික් රක්‍ෂාවෙක් නැත. පොළොව පැකිළ හුණුවන්ට එම පොළොව මුත් අනික් සරණක් නැත්තා සේ, බුදුන් මුත් අනික් සරණෙක් නැතැ”යි ඉස පණු හුණු ශුනකයකු ගස්ව ගස්වා වදනා සේ, අලජ්ජීව නැවත බුදුන් ම කරා ගොස් වාසය කරනුයේ-තව ද, තමා කළ කම් බොහෝ හෙයින් බුදුන්ට ආඝාතම කරනුයේ “සංඝයා භේද කෙරෙමි”යි සිතා කොකාලික ය, මොර තිස්සය, ඛණ්ඩදෙවි පුත්‍රය, සමුද්ද දත්තාය යි තමන්ගේ මන්ත්‍රීවරුන් සතරදෙනා එක්කොට ගෙන මන්ත්‍රණය කරනුයේ “බුදුන් මරා බුදුරජය ගත නොහෙන බැවින් සංඝයා භේද කොට ගෙන අපි හැම වෙන් ව පලා ගොස් බුදු වම්හ”යි කියා “තෙපි හැම මට සහාය වූ නම් තොප තොපට ද වෙන වෙන ම ස්ථානාන්තර දෙමි”යි කී ය. එ කල ඔහු සතර' දෙන “අපි තොප කීවක් කරම්හ, අප හැරගෙන සිත් සේ බුදු වව” යි කීහ.

දෙවිදත් ඉල්ලූ පස් මහ වරය

එ වේලෙහි දෙවිදත් “නිකම් අප ඇම ගිය කල කාරණ නොවෙයි, බුදුන් කෙරෙහි වරදක් පිහිටුවා යම්හ. අනික් වරදක් යොදා ගත නො හැක්ක, ගලින් පැන් උනවා ගත නො හැක්කා සේ බුදුන්ගෙන් ලැබගත නො හැක්කාවූ පස්මහ වරයක් ඉල්වම්හ. එකල බුදුහු ඒ වර නො දෙති, ඒ ව්‍යාජයෙන් බුදුන් හැර යම්හ”යි මන්ත්‍රණය කොට එ දවස් බුදුන් කරා ගොස් බුදුන් වැඳ එකත්පස්ව හිඳ දෙවිදත් මහතෙර බුදුන්ට මෙසේ දැන්වූහ: “ස්වාමිනි! බුදුරජාණෙනි! මුරයෙන් මුරයෙහි ම නුඹවහන්සේ මා ඉල්වූ වරයක් ම නො දෙන සේක, සුදොවුන් රජාණන් බෑනණුයෙමි, බුදුන්ගෙන් වර ලැබීමට අයෝග්‍යයෙකිම් නො වෙමි, පස්වරයක් ඉල්වා ආයිමි ඒ පස් වරය මට දී වදාළ මැනැවැ”යි කීහ.

ස්වාමිදරුවෝ ඔවුන් තබා මුළු සක්වල සත්ත්‍වයන් සිතූ සිත් තමන් වහන්සේ දැන ගන්නා හෙයින් ම ඔහු කී බස හා සමඟ ම ඔහු සිතූ සොරකම් දැන වදාරා මඳක් සිනා පහළ කොට “කියා බල ගැ”යි වදාළ සේක. එ වේලෙහි දෙවිදත් මහතෙර “ස්වාමිනි! මේ ලෝකවාසීහු රූක්‍ෂ වූ ප්‍රතිපත්ති පුරන භික්ෂූන් කෙරෙහි ඉතා ප්‍රසන්නයහ. එසේ හෙයින් ලෝවැස්සන් බුදුන්ගේ ශාසනයෙහි ප්‍රසාද කරන්නාවූ වරපසක් ඉල්ලමි, කෙසේද? යත්; ශාසනය පවතිනා යම් කාලයක් දක්වා හැම භික්ෂූන් ම ආරණ්‍යකාඞ්ගය ම පුරා වල් වාසයෙහි ම වාසය කරන පරිද්දෙනුත්, ග්‍රාම්‍යවාසයෙහි වාසය නො කරන පරිද්දෙනුත් ශික්ෂාපදයෙකින් මට වරයක් දී වදාළ මැනැවැ”යි කීහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ අතීතයෙහි බුදුවූ අනන්තාපර්‍ය්‍යන්තවූ බුදුනුදු නො පැනවූවා වූ ශික්ෂාපදයක් ම හෙයින් පෙම්බර මවක සේ තමන් වහන්සේගේ සියලු සංඝයා කෙරෙහි උපන් මහ කුළුණු ඇති ව ‘දෙවදත්තය! තා ඉල්ලූ වරය මිරිඟු සොයා ඇවිදිනා වූ මෘගයකු සේ බුදුන්ගෙන් නො ලබන්නාවූ වරයක් මය, මාගේ ශාසනය බොහෝ කලක් නො පවත්නා වූ සසුන් නමැති දිව්‍යදාමයට කෙටේරියක් බඳු වූ අවැඩ කරු වූ වරයෙක් ම ය. කාරණ කිම? යත්; මාගේ ශාසනයෙහි දහම් අමා උකා බී උමතුව, තමන් සුඛුමාල බවු නොදැන මහණ ව, මහණ ධර්‍ම පුරන්නා වූ රජ, බමුණු වෙළඳාදී සුඛුමාලයෝ පමණ නැතියහ. ඔහු මතුමාලෙන් යටිමාල නො හැඳින පියුම් සේ වැඩියාහු වල කෙසේ වැස සිත් අලවා ගනිද්ද. තව ද: මාගේ දහම් අමායෙහි මත් ව ඔවුන්ගේ තන වලින් තුඩුහැර මවුන් පියන් හඬව හඬවා මාගේ සසුන් වැද මහණ ව වසන්නා වූ සුඛුමාල වූ කුමරුවන් හා කුමරියෝ වල් වැද මැසි මදුරු පීඩාවෙන් කෙසේ නම් සිත් එකඟ කෙරෙද්ද?

තවද: ජනසඤ්චාරයෙන් දුරු ව වැසලිය නොහෙන අති ගිලන් භික්ෂූහු ජනශුන්‍යස්ථානයෙහි වැස කෙසේ දවස් යවද්ද. හස්තිකාන්ත වීණාවෙහි ප්‍රලුබ්ධ වූ හස්තීන් සේ, මාගේ ශ්‍රාවකයන්ගේ ධර්‍මසාකච්ඡාවෙහි ඉතා ප්‍රලුබ්ධ වූ අති ශ්‍රද්ධාවන්ත වූ රජබිසෝවරුන් ආදී ශ්‍රීවන්ත ස්ත්‍රීපුරුෂයෝ තමන් තමන් කැමැති විට ඔවුන් කරා ගොස් තමන් සිත් සේ පෘච්ඡා ප්‍රති පෘච්ඡාවෙන් පින් රැස් කරන්නාහු ආරණ්‍යයට ම සිතු සිතූ විට කෙසේ නම් ගොසින් පින් රැස් කෙරෙද්ද. මේ මේ කාරණයෙන් තා ඉල්ලූ පළමු වන වරයම ලෝක ශාසන නමැති මහා ශාලික්‍ෂෙත්‍රයෙහි දරහඬ බඳනා සේ ය. වීර්‍ය්‍ය ඇති කෙනෙක්, නිරෝග ඇති කෙනෙක්, ළදරු නො වන කෙනෙක්, කැමැතියෝ නම් ආරණ්‍යයෙහිත් වෙසෙති, අවශේෂ වූ සුඛුමාල මාගේ ශ්‍රාවකයෝ ග්‍රාමාන්ත සෙනාසනයෙහි ම වෙසෙති, යමෙක් ගම වේව යි, වල වේව යි, සෙල වේව යි, ගල්දුදුලෙක වේව යි, මට ම පක්‍ෂපාතව, මටම කීකරුව, මාගේ ශික්‍ෂාපදයන් පුරා, පාපයෙන් දුරු ව, වෙසෙත් නම් ඔහු මදරුවෝ ම ය, ඔවුන් වසන තැන් ම රාමණෙය්‍ය භූමිය”යි වදාරන සේක්:—

ගාමෙ වා යදිවා රඤ්ඤෙ - නින්නෙ වා යදි වා ථලෙ,

යත්‍ථ අරහන්තො විහරන්ති - තං භූමිං රාමණෙය්‍යකං-යි.

වදාරා “තට ඒ වරය නො දෙමි”යි ප්‍රතික්‍ෂේප කළ සේක.

එ වේලෙහි දෙවිදත් මහතෙර සිතින් සමාධිව දෙවන වරය ඉල්වන්නාහු “එ බැවින් ස්වාමීනි! ලොකවාසීහු පිණ්ඩපාතිකාංගය පුරන්නවුන් කෙරෙහි අති ප්‍රසන්නයහ, සියලු භික්ෂූන්ට පිණ්ඩපාතිකාංගයෙහි උත්කෘෂ්ටය, පුරා දවසින් දවස සිඟා ගොස් ලද භෝජනයක් අනුභව කරන පරිද්දෙනුත්, වෙහෙරට ගෙනා ගෘහපති භෝජනයක් නො වළඳන පරිද්දෙනුත් ශික්ෂාපදයක් පනවා වදාළ මැනැවැ”යි කීහ.

එ වේලෙහිදු මාගේ ස්වාමිදරුවෝ පූර්වබුද්ධචරිත බලා අප්‍රඥප්ත වූ වරයක් බවු දැන “තා ඉල්වූ ඒ වරයත් සඳට අත දිගු කළා සේ බුදුකෙනෙකුන්ගෙන් ලැබිය යුතු වරයෙක් නො වෙයි, මෝඝ පුරුෂය! ගිලන් භික්ෂූහු දවසින් දවස කෙසේ සිඟා ඇවිදිද් ද; පාත්‍රය දරාගත නො හෙන ඉතා ළදරු වූ හෙරණයෝ ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් හැර බැහැර යා නොහෙන්නාහු කෙසේ භික්‍ෂාටනය කොට ජීවත් වෙත් ද, ආගන්තුක ගමිකාදි නොඑක් දානයෙන් පින් රැස් කරන්නාවූ නො එක් කුලපුත්‍රයෝ ඒ බත් කවුරුන්ට දන් දී පින් පුරා ගනිද් ද, ඔහු කෙසේ නම් ගැළවෙද් ද, මේ මේ කාරණයෙන් ඒ වරයත් ලෝක-ශාසන නමැති රස උක් වනයට මාඤ්ජෙෂ්ටිකා නම් වූ රෝගය සේ ශාසනය නො පවත්නා වූ වරයෙක, එයි දු තට නො දෙමි”යි වදාළ සේක.

තව ද: දෙවිදත් සිතින් සමාධි ව අනික් වරයක් ඉල්වන්නාහු “ස්වාමිනි! පාංශුකූල චීවර ධාරි වූ ශ්‍රාවකයන් කෙරෙහි සත්ත්‍වයෝ අතිප්‍රසන්තයහ. එසේ හෙයින් හැම භික්ෂූන් ම සොහොන් කඩින් ම සිවුර කොට වැළඳ පාංශුකූල චීවරයන් දරණ පරිද්දෙනුත් අවශේෂ වූ වස්ත්‍රයෙන් කළ ගෘහපති චීවරය පිළි නොගන්නා පරිද්දෙනුත් අනුදත මැනැවැ “යි කීහ.

එ වේලෙහි දු ස්වාමිදරුවෝ පූර්ව බුද්ධවරයන් එ බඳු වූ ශික්‍ෂාපදයක් නො පැන වූ බවු දැන තා ඉල්වන්නාවූ වර නම් ගලින් පැන් උනවාගත නො හැක්කා සේ බුදුන්ගෙන් නො ලැබෙන්නාවූ වරයෙක මාගේ සසුන් වන් මළ මිනියකුත් නුදුටු විරූ කුලපුත්‍රයන්ට මිනී දුටුකළ ප්‍රතික්කුල වෙයි, සොහොන්කඩ ද එසේම සමහරුන්ට ප්‍රතික්කුල වෙයි, ඒ නිසා සමහරුන්ට ව්‍යාධි වෙයි, එසේ කල ඔවුන්ගේ ධ්‍යානභාවනාවට බාධක වෙයි, යම් කෙනෙක් එ බඳු වූ චරිත ඇතිව වීර්‍ය්‍ය ඇතියාහු නම් එයිත් පුරත් ම ය අශක්ති කෙනෙක් ගෘහපති චීවරත් පිළිගනිත් ම ය, තව ද එසේ ම භික්ෂූහු පාංශුකූල ම ගනිත් නම් ශ්‍රද්ධාවන්තයෝ මාගේ ශ්‍රාවකයන්ට උතුම් උතුම් වූ වස්ත්‍රදානයන් දී අප්‍රමාණ වූ දිව්‍යලොක මනුෂ්‍යලොක සම්පත් කෙසේ ලැබ ගනිද්ද, මේ මේ කාරණයෙන් තා ඉල්වූ ඒ වරයත් ලෝක ශාසන නමැති මහ ඇල්කෙතට ශ්වේතාස්ථිකා නම් රෝගය වැන්න, එයි දු තට නො දෙමි”යි වදාළ සේක.

එ වේලෙහි දු දෙවිදත්තෙර සොරසිතින් සමාධි ව සතර වන වරය ඉල්වන්නාහු “එසේ වී නම් ස්වාමිනි! හැම භික්ෂූන් ම හැම කාලයෙහි ම රුක්මුල්වල හිඳ ධ්‍යාන භාවනා කොට වෘක්‍ෂමූලිකාඞ්ගය ම පුරණ පරිද්දෙනුත්, තණින් සෙවූ ගෙයකට නො වදිනා පරිද්දෙනුත් ශික්ෂාපදයක් පනවා වදාළ මැනැවැ”යි කීය.

එ වේලෙහි ද ස්වාමිදරුවෝ පූර්වබුද්ධවරයන් කෙරෙහි නො පැවැත්තාවූ වරයක් බව් දැන “තා ඉල්වන්නාවූ වර නම් සුළඟට දැල් බඳිනා සේ ලැබ ගත නො හැක්කාවූ වරයෙක් ම ය, මාගේ ශ්‍රාවකයෝ වර්ෂාකාලයෙහි රුක්මුල්වල කෙසේ දවස යවද්ද, මැසි මදුරු අවු සුළං ඛාන සුඛුමාල වූ භික්‍ෂූහු කෙසේ මහණධර්‍ම පුරද්ද, මාගේ සද්ධර්මය මතු කොතැන්හි තබා රක්‍ෂා කෙරෙද් ද, ආවාස දන් දී බොහෝ පින් රැස්කරන සත්පුරුෂයෝ කෙසේ ඒ පින් ලැබගනිද්ද, එබඳු වූ වීර්‍ය්‍යවන්ත වූ ශ්‍රාවක කෙනෙක් වර්ෂා සාරමස හැර නියං අටමස වෘක්‍ෂමූලිකාඞ්ගයත් පුරත් ම ය, එසේ පුරාගත නො හෙන කෙනෙක් තෘණ කුටියෙහිත් වෙසෙත් ම ය, ප්‍රාසාදාදියෙහිත් වෙසෙත් ම ය, මේ මේ කාරණයෙන් තා ඉල්වූ ඒ වරය ද ලෝක ශාසන නමැති මහ සඳුන් රුකට නරාවක් සේ ශාසනස්ථිතියට ප්‍රතිපක්‍ෂ වූ වරයෙක, එයි දු නොදෙමි”යි වදාළ සේක.

එ වේලෙහි දු දෙවිදත් මහතෙර අනික් වරයක් ඉල්වන්නාහු ‘“එසේ වී නම් ස්වාමිනි නො එක් ලබ්ධිගතුවා වූ සත්ත්‍වයෝ ද මත්ස්‍ය මාංසානුභවය නො කරන්නාහුය, ලෝකවාසීහු ද මත්ස්‍යමාංසානු භවය නො කරන්නවුන් කෙරෙහි ඉතා පහදිති, නුඹවහන්සේගේ ශාසනයෙහි භික්ෂූන් මත්ස්‍යමාංස අනුභව කරනු ඉතා නොයෙදෙයි. එසේ හෙයින් මිථ්‍යාදෘෂ්ටිහු ද ශාසනයෙහි නුගුණ කියති, ශාසනයට ම වැඩ පිණිස සියලු භික්ෂූන් ම මත්ස්‍යමාංසානුභව නො කරන්නේ ය යි කියා ශික්ෂාපද පනවන්නේ ය”යි කී ය.

එ වේලෙහි දු ස්වාමිදරුවෝ පූර්වබුද්ධවරයන් එ බඳුවූ ශික්ෂාපදයක් නො පැන වූ බවු දැන “තා ඉල්වන්නාවූ වරය නම් පර්වත පෙළා පැන් නොලබන්නාසේ සර්වඥවරයන්ගෙන් ලැබගත නො හැක්කා වූ වරයෙක් ම ය, දේවදත්තය! අනුන් පිටිමුව හෙලීගෙන ගමන් යන ජාත්‍යන්‍ධයන් සේ සර්වඥවරයෝ අනුන් කීවා කාරණ යයි නොගිවිස්නාහුය, මේ ලෝකයෙහි සර්වඥවරයන්ට වඩා කුශලාකුශල ධර්‍මයන්ගේ විභාගයෙහි සාරය දන්නා සත්ත්‍වකෙනෙක් නැත්ම ය. එසේ හෙයින් කෑවානට පාපයෙක් වේනම් මහාකරුණා සම්පන්නවූ බුදුහු වරද ය යි හරවන්නාහු ය, මේ ලෝකයෙහි ආහාර විහාරාදි චතුර්විධ වූ ප්‍රත්‍යය දාන දුන්නා වූ සත්ත්‍වයන්ට ජනිත වන්නාවූ කුශලය`ඒ දන් අනුභව කළාවූ ශ්‍රාවකයන්ට හා සම නොවන්නා සේ මාංසය ද මැරුවානට වූ පාපය, කෑවානට නැත්තේම ය; යමෙක් ලොභය නූපදවා මේ ජීවිත බ්‍රහ්මචර්යාව රක්ෂා කරන්නාහු අනුභව වස්තුවෙක් වනැ යි දිවි රැක සිල් රකුම්හ යි සිත සිතා අනුභව කළාහු වූ නම් පවු නැත්තේ ම ය, එසේ හෙයින් මාගේ ශ්‍රාවකයෝද යම් යම් දේශයෙක, යම් යම් ද්වීපයෙක, යම් යම් දෙයක් අනුභව කොට සත්ත්‍වයෝ ජීවිතවෘත්තිය කෙරෙත් නම් ඒ ඒ භෝජනයන් අනුභව කොට ශාසනය රක්‍ෂා කොට ලෝ වැඩ කරන්නාහු ම ය. එසේ හෙයින් ත්‍රිකොටි පරිශුද්ධ දශවිධ වූ මාංසයෙන් පිටත් වූ කප්පිය මාංසය අනුදනුම්හ. ඒ වරයත් නො දෙම් ම ය”යි වදාරා මෙසේ පස් මහ වරය ම නො ගිවිස “මාගේ ශාසනයෙහි ශික්‍ෂාපදයන්ගේ නිමාව නම් නිර්වාණය කෙළවර කොට ඇතියේය, එසේහෙයින් සමහරු ආරණ්‍යයෙහි වැස භාවනා කොටත් රහත් වෙති, සමහරු ග්‍රාම්‍ය වාසයෙහිත් දිව්‍යසමාන මහ පාමුදුන්හි යහන් මතුයෙහි හිඳත් ඒ ඒ අරමුණෙන් රහත් වෙති. සමහරු පිණ්ඩපාතිකාඞ්ගය පුර පුරාත් රහත් වෙති, සමහරු ගෘහපති භෝජන වළඳාත් රහත් වෙති, සමහරු පාංශුකූල චීවර ධරාත් සුසානභූම්‍යාදියෙහිත් රහත් වෙති, සමහරු ගෘහපති චීවර ධරා හිඳත් රහත් වෙති, සමහරු රුක්මුල්හි හිඳ භාවනා කොටත් රහත් වෙති, සමහරු විහාර සෙනාසනාදියෙහි හිඳත් රහත් වෙති, සමහරු මත්ස්‍යමාංසානුභවයෙහි යෙදීත් රහත් වෙති, සමහරු අවශේෂානුභවයෙන් යෙදීත් රහත් වෙති. එසේ හෙයින් මේ මේ කාරණයෙන් බුදුන්ට ප්‍රයෝජන නම් බුදුන් ලෝකයෙහි පහළ වූයේ නම් සත්ත්‍වයාට නිවන් අමා දෙන නිසා ය. යමෙක් නිවනට බාධක වී නම් එසේ වූ වරද සර්වඥවරයෝ වළකන්නාහු ම ය, යමෙක් මාර්ගාවරණය නො කෙරේ නම් එසේ වූ වරද සර්වඥවරයෝ වරදට නො ගන්නාහු ම ය; එසේ හෙයින් තා ඉල්වූ වර පස ම බුදුහු නො දෙති”යි වදාළ සේක.

සඞ්ඝ භේද කර්‍මය කිරීම

එ වේලෙහි දෙවිදත් මහතෙර තමන්ගේ කොකාලිකාදී සතර දෙනා මුහුණ බලා සොර හිඟිලා සිතින් සමාධි ඇතිව හුනස්නෙන් පැනනැඟී බුදුන් වැඳ “ස්වාමිනි! නුඹවහන්සේ මා ඉල්වූ යම් යම් වරයක් නොදී වදාරණ සේක් ම ය, මා කෙරෙහි සරුවක් නැතිසේක් ම ය”යි කියා තමන්ගේ විහාරයටම ගොස් බොහෝ අඥානයන්ට තමන් රූක්‍ෂ ප්‍රතිපත්තියෙන් බුදුන් අතින් වර ඉල්වූ නියාවත්, ඒ වර බුදුන් නුදුන් නියාවත්, “මෙයින් මතු අපි අපි ම එ පිළිවෙත් පුරම්හ. අද පටන් මම ද වෙන ම බුදුකම් කෙරෙමි”යි කියා අලුත අලුත මහණ වූ, පෘථග්ජන වූ කුසල් ලා වූ, මහණුන් ලා නො එක් දුර්මන්ත්‍රණ කොට පන්සියක් මහණුන් උගන්වා ගෙන තෙමේ වෙන්ව ගොස් සඞ්ඝභේදක්ඛන්‍ධයෙහි කී පරිද්දෙන් සඞ්ඝයා භේද කොට, තෙමේ වෙන ම පොහෝ පවුරුණු කොට, එයින් ගයා නම් ගංගාව සමීපයෙහි වෙහෙරක් කරවා එහි තෙමේත් බුදු වීමි යි කිය කියා බුදුන් සැටියට දවස් යවයි.

එ කල ස්වාමිදරුවෝ ඔහු උගන්වා ගෙන ගිය පන්සියක් මහණුන්ගේ නුවණ පිරි හුන් බවු දැන සැරියුත්-මුගලන් දෙදෙනා වහන්සේ කැඳවා “තෙපි දෙදෙන පලා ගොස් දෙවිදත්හුගේ මහණුන් ගෙනෙව”යි වදාළසේක. එ කල අගසවු දෙදෙනා වහන්සේ ගොස් දෙවිදත්හුගේ ආරාමයට වන් සේක. එ දවසු දු දෙවිදත් තමාගේ මහණුන් දෙපෙළ හිඳුවා ගෙන තෙමේ ධර්මාසනයෙක පැනනැගී සිංහයකුගේ වික්‍රම දක්වා හුන් කැනහිලකු සේ, බුදුන් සේම බණ කිය යි. එ වේලෙහි අගසවු දෙදෙනා වහන්සේ ආරාමයට වදනා දුටු භික්‍ෂූහු ගොසින් දෙවිදත්හට කීහ. දෙවිදත් “තමන් කෙරේ වසන්නට ආහ” යි සිතා සතුටු විය.

ඇළයේ හුන් කෝකාලිකයා කියනුයේ “ඔහු දෙදෙන නම් භවත් ගොයුම්හට වඩා සොරහ, තොප කෙරේ වසන්නට ආහ’යි නො සිතමි, තොපට විනාශයට ආහ යි සිතමි, ඔවුන් ඇතුළට නො ගන්ව’”යි කී ය. එ බසට දෙවිදත් “කුමක් දොඩයි ද, බුදු හුත් මමත් සමවූ කුල ඇතියම්හ, මම ඔවුන්ට ගුරුකමට නොතරම්ද, මට අගසවු කමට අවු ය. සැක නො කොට ම ඇතුළට ගන්ව”යි කියා දෙදෙනා වහන්සේම ඇතුළට ගෙන ප්‍රිය කථාකොට සැරියුත් මහ තෙරුන් වහන්සේ තමහට දකුණත ආසනයෙක හිඳුවාගෙන, මුඟලන් මහ තෙරුන් වහන්සේ වමත ආසනයෙක හිඳුවාගෙන, අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමින් මාරුවට කෝකාලික මහල්ලා තමහට පිටිපස්සේ හිඳුවාගෙන, එතෙකින් තෙමේ සැබවින්ම බුදුව ගියෙමි යි සිත සිතා තෙමේ තමා බවු නො දන්නේ බණ ය යි කිය කියා තමා කටට ආ යම් ම දෙයක් දොඩා විඩාව ගොස් “බුදුන් සේම මමත් ශ්‍රාවකයන් ලවා බණ කියවමි”යි සිතා “ශාරිපුත්‍රස්ථවිරයෙනි! බණකියා විඩා ව ගියෙමි, පිට මඳක් රිදෙයි, මා මඳක් සැතපී ගත දී තෙපි බණ කියව”යි කියාලා තෙමේ ආසනයෙන් බැස සැරියුත් ස්වාමීන් අස්නෙහි හිඳුවාලා තෙමේ ආසනය පිටිපස්සෙහි බිතග් බඩ වැදහෙව “භො භො සාරිපුත්ත! සාධු සාධු සාරිපුත්ත!! දෙසෙථ ධම්මං සාරිපුත්ත!!!” යනාදීන් බුදුන් ඔබට කරන ස්තුති සැටියට තෙමේත් ස්තුති කොට කොට නිඳා මහ පිඹුරකු සේ සුස්ම සුස්මා තෙමේ තමා කොයි හොත් බවත් නො දන්ති.

එ වේලෙහි සැරියුත් ස්වාමි ආකාශ ගඞ්ගාව ගෙනහැර දක්වන්නා සේ, මුහුද මහරළකඳු දිවන්නා සේ, අනේක නයින් අනුබද්ධව ධර්‍ම දෙශනා කරන සේක. එ කෙණෙහි දෙව්දත්හුගේ පන්සියක් මහණු පිළිසිඹියාපත් රහත් ව ගියහ. ඔවුන් රහත් වූ බවු දැන දෙදෙනා වහන්සේ ම පියුම් විලෙකින් අහස්කුසට නැගි රාජහංසයන් දෙදෙනකු සේ ආකාශයට නැඟී බුදුන් වන දෙස බලා නික්මුණු සේක. සොල්මනකින් එක පැහැර අහස්කුසට පැනනැඟි ලිහිණි පෙළක් සේ, පන්සියක් රහත් සඟහු ද උන් උන් පොළින්ම ආකාශයට පැනනැඟී දෙදෙනා වහන්සේ පිරිවරා බුදුන් කරා ම ගියහ, එ කල දෙවිදත්හුගේ ආරාමය සිස් විය. තව ද දෙවිදත් පරමත්‍ව නිද්‍රා ම ය.

එ වේලෙහි කෝකාලික තෙම හැම මහණුන් ගිය බවු දැක තමා හා දෙව්දත්හු එකලා වූ සේ දැක තමා ම ළෙහි අත් ගස ගසා දෙවිදත්හු කරා දිව විළුඹෙන් ලෙහි හැන පුබුදුවා “කොල! තෝ මා කිය මන් නො ගත්තෙහි වේ ද; තාගේ හැම පිරිස් ගෙන අගසවුවෝ ගියෝ වේද, එතෙකින් තෝ බුදුකම් කෙසේ කෙරෙයි දැ”යි බැණ බැණ දණහිස නමාලා ඔහු ලෙහි කුළුපහරක් සේ ඇන්න. එකෙණෙහි දෙවිදත් හුණු ලේහැල්ලක් කටින් දමා එම ව්‍යාධිය මුල් කොට එතැන් පටන් නවමසක් ලෙඩ ව හෙව, පසු ව තමා ඒකාන්තයෙන් ම මියන බවු දැන තමා බුදුන්ට කළ නො එක් අපරාධ සිහිකොට උපන් භයින් “මියන ගමනෙහි බුදුන් වැඳ ක්‍ෂමා කරවමි” යි සිතා “මා බුදුන් දක්වා පියව”යි කීහ. අතවැසියෝ “තොප බුදුන්ට කළ ද්‍රෝහ තොපි ම නො දනු ද, බුදුහු තොප නො දක්නා සේකැ”යි කීහ. එ වේලෙහි දෙවිදත්:-

“වධකෙ දෙවදත්තෙ ච-චොරෙ අංගුලිමාලකෙ,

ධනපාලෙ රාහුලෙ වෙව-සබ්බත්‍ථ සම මානසො”‍යි.

යනු හෙයින් “බුදුහු මා කෙසේ අපරාධ කළත්, මා කෙරෙහි ආඝාතයක් නැතියහ” යි කියා තමා ඇඳකින් උසුළුවා ගෙන එවකට බුදුන් දෙවුරම බවු අසා ඔබ නික්මිණ.

ඔහු එන බවු අසා බුදුන් කරා ගොස් ‘“ස්වාමිනි! දෙවදත්තයෝ නුඹවහන්සේ දක්නට එමින් සිටියෝ ය”යි භික්ෂූන්වහන්සේ සැල කළ සේක. බුදුහු “මහණෙනි! දෙවිදත් මා දැක්ක නොහෙ”යි වදාළ සේක. තවද භික්ෂූන් වහන්සේ ‘ස්වාමීනි! දේවදත්තයෝ යොදනක් අවු ල. දෙගවුවක් තබා අවුල. ගව්වක් තැනට අවුල. අඩගවුවක් පමණ තැනට අවුල. දැන් අඩසනක් පමණ තෙන අවුල. වෙහෙරට පෙනෙන තෙනට අවුල” යනාදීන් ගොසින් දන්වන සේක. බුදුහු “මහණෙනි! දෙවිදත් මා අතින් පස්වරය ඉල්වා ගිය තෙක් පටන් බුද්ධ දර්ශනයට අභව්‍ය වි ය, ඔහු කළ කම් බෙහෙව, මා සේ බුදුහු සියක් දහසෙකුත් මෙ වකට ඔහු ගොඩනැඟිය නොහෙති, මේ ගන්‍ධමණ්ඩල මාලකයට ආ නමුත් මා දැක්ක නොහෙයි, ඇසිල්ලෙකින් ඕහට වෙන කම් දක්නා වා දැ” යි වදාළ සේක.

එකල දෙවිදත්හුගේ අතවැසියෝ ඔහු උසුළා ගෙනවුත් ජෙතවන දොරටුව සමීපයෙහි වූ පොකුණ මියර මතුයෙහි ඔහු ඇඳපිටින් තබාලා තුමූ නාන්නට දියට බටහ. එවේලෙහි දෙවිදත් දෙවුරම් දොරටුව දැක “දැන්දක් බුදුන් දකිමි”යි යන උත්සාහයෙන් කර්‍මජවූ බලයක් ලදින් මෙතෙක් දවස් නැගී සිටිය නො හෙනුයේ එ දවස් ඇඳින් නැඟී දෙපය බිම තබා වෙවුල වෙවුලා හුන්නේය. එකෙණෙහි මහපොළොව දෙකක්ව පැළී දඹදිව යට වළන් වස්නක් ඊ ඊ මතුයෙහි තුබුවාසේ, ක්‍රමයෙන් තුබූ අට මහා නරකයම එක රන්‍ධු ව යට තුබූ අවීචි මහනරකයෙන් ගිනිකඳෙක් පැන නැඟී පාශයකින් බැඳුවා සේ මොහු දෙකකුල් ගත. එකෙණෙහි කකුළුවකු පණුවකු සල්ව සල්වා ගලන්නාසේ දණ දක්වා ගැල නාභිය දක්වා ගැල-තනකිස දක්වා ගැල-ක්‍රම ක්‍රමයෙන් මෙසේ කර දක්වා ගැළපී ය.

එවේලෙහි දෙවිදත් “කොළ! මා ගනුව, මා ගනුව”යි මහ හඬින් හඬ හඬා බුදුන් සඳහන් කොට ‘“යශොධරා දේවීන් බැහැනනුයෙමි, රහල් තෙරුන් මයිලනුයෙමි, සුදොවුන් රජාණන් බැහැනනුයෙමි, එසේ හෙයින් ශාක්‍ය සිංහ වූ ලොවුතුරා බුදුනි! නුඹ සුහුරුබඩුයෙමි, ගැත්තවු අපරාධ කළත්, නුඹ නෑයන් බලා වී නමුත් අද මා රැක ගන්නැ”යි බුදුගුණ කියනුයේ,

ඉමෙහි අට්ඨිහි තමග්ගපුග්ගලං

දෙවාති දෙවං නරදම්මසාරථිං

සමන්තචක්ඛුං සතපුඤ්ඤලක්ඛණං

පාණෙහි බුද්ධං සරණං උපෙමි.

යන මේ ගාථාව කියා බුදුන් සරණ ගෙන බුදුන්ට ස්තුති පූජා කෙළේ ය.

දෙවිදත්හුගේ පොළොව ගැලීම

ඉක්බිත්තෙන් ඔහු ගෙනගොස් අවීචි මහා නරකයෙහි හෙළීය, එහි උපන් ඔහුගේ උසම සියක් යොදුන් වෙයි. ගිනිගෙන, දිලියෙන ශරීර වෙයි, ගිනි පර්වතයක් සේ දිලියෙන ඉස ම පස්විසි යොදුන. ගිනිගත් බඳ පස්විසි යොදුන. සියක් ගවු දිග සිහින් කකුල් වෙයි. සියක් ගවු දිග ගිනිකඳ වන් කලව වෙයි. දෙසියයක් ගවු දිග ගිනි ගත් දෑත් වෙයි. ගිනිගෙන දිලියෙන නාඹ තල්කඳක් සා යකීලයෙක් ළෙන් ඇනී පිටින් නැඟී පූර්වපශ්චිම දෙභිත්තියෙහි හැනී සිටී. එසේම අනික්යකීලයෙක් දකුණැලයෙන් හැනී, වම් ඇළයෙන් නැඟී උතුරු දකුණු දෙභිත්තියෙහි හැනී සිටී. එසේම අනික් ය කීලයෙක් ඉස්මුදුනෙන් ගොස් අධොභාගයෙන් නික්ම යට ය පොළොව පටන් උඩ ය පොළොව හැනී සිටී. මෙසේ නිශ්චල වූ බුදුන්ට කළාවූ අපරාධයට කපක් මුළුල්ලෙහි නිශ්චලව සිට විඳිනා ප්‍රේත දුකට ම භාජන විය. බුදුහු ඕහට මේ සා මුළාවක් වන බවු දැන කුමක් නිසා මොහු මහණ කළ සේක් ද යත්?

මේ තෙමේ බොහෝ. දවසෙක බුදුන්ට වෛරී ව ම ආ බුද්ධ ද්‍රෝහීය ය, එසේ හෙයින් ඉදින් මහණ නො කළහොත් ගිහිගෙයි වෙසේ නම් බුදුන්ට කරන අපරාධ මීටත් වඩා බොහෝ වෙයි, කප් අසංඛ්‍යයෙකිනුත් ගැළවුම් නැති පවු කෙරෙයි. මහණ කිරීමෙන් කරන යම් ම අපරාධයක් සොර සොරා භය ගෙන ගෙන කෙරෙයි, එසේ කරණ දෙයත් බොහෝකොට කොටගත නොහෙයි, මහණ වූ හෙයින් මරණ කාලයෙහි බුදුන් දකිමි යි ආය. පොළොව ගලන වේලෙහි චතුෂ්පද ගාථාවෙකින් බුදුන් ගුණ කියා බුදුන්ගේ සරණ ගත පඤ්චානන්තර්‍ය්‍ය කර්‍මය කළවුන්ට අවීචිය ඒකාන්ත හෙයින් බුදුන් සිහි කළත් අවීචියෙහි හින. එහි බොහෝ කලක් දුක් ගෙන බුදුන් සරණ ගියා වූ කුශලයෙන් අනාගතයෙහි කප් ලක්‍ෂයක් ගිය කල සට්ඨිස්සර නම් පසේ බුදු ව, සැට අසුරක් ගැසූකලක් ජීවත්ව නිරුපධිශෙෂ නිර්වාණධාතුයෙන් පිරිනිවී අමාමහ නිවන් දැක සංසාර සාගරයෙන් ගැළවෙන්නේ ය යි මෙතෙන පරීක්ෂා කොට බුදුහු ඔහු මහණ කළ සේකැ යි සත්පුරුෂයන් විසින් දතයුතු.

මහපොළොව ගැලීගිය පස්දෙනා

තව ද අප බුදුන් සමයෙහි මේ දෙවිදත් මතු නොවෙයි, ඔහු සේම වරදවා පස්දෙනෙක් මහපොළොව ගැල එම ආත්මයෙන් අවීචි මහා නරකයට ගියාහුය. ඔහු කවරයත්? 1. උපුල්වන් මහා ස්ථවිරීන් වහන්සේ දූෂණය කළාවූ භාගිනෙය්‍ය සිටු පුත්‍රය, 2. තමා රුවට නින්දා කළැ යි බුදුන් කෙරේ ආඝාත බැඳ සත් දවසක් බුදුන්ට අනාදර බැණවූ මාගන්‍දි නම් බැමිණිය, 3. මිථ්‍යාදෘෂ්ටීන්ගෙන් අත්ලස්ගෙන සිවුවනක් පර්ෂද් මැදයෙහි සිට බුදුන්ට අනාදර බිණු චිඤ්චිමානවිකාය, 4. බුදුන් කෙරෙහි ආඝාත බැඳි මෙම දෙව්දත්හුගේ පියාණෝ සුප්‍රබුද්ධ නම් කොළිය රජ්ජුරුවෝ ය, 5. මෙම දේවදත්තයෝ යයි පස් දෙනෙකැයි දතයුතු.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ මේ දෙවිදත්හුගේ නොඑක් ජාතිවල ද, බුදු වූ ජාතියෙහි ද, අනෙක ප්‍රකාරයෙන් ඔහු තමන්වහන්සේට කරණ ලද, නො එක් වධක ප්‍රයෝගයෙහි මෙසේ මෙසේ නොයෙක් පූජාවන් ලත් හෙයිනුත්, එසේ වූ පූජාවිඳීමට සුදුසු හෙයිනුත්, වැදූ සුදොවුන් මහරජාණන් කෙරෙහි ද, කඩුවක් ඉස සිසාරා තමන් වහන්සේ මරා ‘ඇඟිලි කපමි, නොය නොය මහණැ”යි කිය කියා දිවූ අඟුල්මල් සොරහු කෙරෙහි ද, “පය ගෙන පරසක්වළ ගසමියි හඬගසා දිවු අලව් යකු කෙරෙහි ද, මේ සා වධක ප්‍රයෝගයක් කළා වූ දෙව්දත්හු කෙරෙහි ද, තමන් සහජාත පුත්‍ර වූ රහල් තෙරුන් කෙරෙහි ද, එක සමවු මෛත්‍රී ඇති මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි.

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං–යි

මේ පූජාවලියෙහි අප බුදුන් දෙවිදත්හු නිසා ලද

සම මෙත් පූජා කථා නම් වූ එකුන් තිස් වන පරිච්ඡේදය නිමි.

30. ජීවිතාදි පූජා කථා

අජාසත් රජු බුදුන් දකින්ට යාම

තව ද: අප බුදුන් අජාසත් රජහුගෙන් ලද ජීවිතාදි පූජා නම් කවර යත්?

දෙවිදත්හු යට කී ක්‍රමයෙන් පොළොව ගැල මහ නිරෑ වන් කල්හි රජගහා නුවර මහත්වූ සැණකෙළියෙක් විය. නුවර වැසියෝ එනුවර දෙව්පුරයක් සේ සරහා සැණ වෙස් ගෙණ හැඳ පැළඳ දෙවියන් සේ කෙළනාහුය. එකල අජාසත් රජ්ජුරුවෝ මැදි පොහොදා රෑ චන්ද්‍රකාන්තීන් රිදීකළයෙන් දිවන්නාවූ ක්‍ෂීරධාරාවන් සේ, රජත ප්‍රසාදයෙන් නික්මුණු මුතුවැල පඞ්ක්තිසේ, සමන් මල්දම්සේ, ක්‍ෂීර සාගරයෙන් දිවන මහරළපතර සේ, චන්ද්‍රකාන්තීන් දිලියෙන්නා වූ රාත්‍රියෙහි අමාත්‍ය මණ්ඩලයා පිරිවරා දළපුඩුසේසත යට සිංහාසන පැන නැඟී හුන්නේය. කුමක් නිසා හුන්නේ ද යත්?

නිඳි වළකන සඳහා ය, කුමක් නිසා නිඳි වළකා ද යත්? මේ රජ පියරජහු මැරූ තැන් පටන් ගෙන ඇස පියා ලූ විට ම ඉස කුළු හෙළන්නා සේ, සිය දහස් ගණන් සැත් ලාලා ඇඟසැත්කම් කරන්නා සේ, වැටහෙන කල මහහඬින් හඬ හඬා වෙවුල වෙවුලා පුබුදිනේය, කිම් දැ යි විචාළ කල ලජ්ජාවෙන් නොකියා අනිකක් කිය යි. ඒ කාරණයෙන් මෝහට පියරජහු මැරූ තැන් පටන්ගෙන නිඳි ලැබීමෙක් නම් නැත, නිඳි නො රිසියේ ම ය. මේ කාරණයෙන් නිඳි වලකන නිසා හිඳ “මේ රාත්‍රිය චන්‍ද්‍රකාන්තීන් ඉතා හොබනේය, ඉතා රමණීයය, සිත් පහදවා කවර මහණ බමුණු කෙනෙකුන් කරා යමෝ දෝ, කවර මහණ බමුණු කෙනෙක් ගිය කල අප සිත් අලවද්දැ” යි විචාළේ ය.

එ බසට එක් අමාත්‍යයෙක් ‘දේවයන් වහන්ස! අපගේ පූරණ කාශ්‍යප නම් බුදුන් කරා ගියෝතින් ඉතා ම මැනැවැ”යි කීය. රජ්ජුරුවෝ එබසට මුයෙන් නොබිණුවාහු ය. අනෙක් අමාත්‍යයෙක් “දේවයන් වහන්ස! අපගේ මක්ඛලි ගෝසාල නම් බුදුන් කරා යම්හ”යි කී ය. අනෙකෙක් “අපගේ අජිත කේසකම්බලයන් කරා යම්හ”යි කීය. අනෙකෙක් “කකුධ කාත්‍යායනයන් කරා යම්හ”යි කීය. අනෙකෙක් “සඤ්ජය බෙලට්ඨි පුත්‍රයන් කරා යම්හ”යි කීය. අනෙකෙක් කියනුයේ “ඉතා කිසි ම පළිරොධයක් නැති ව, පිළී පමණකුත් කැත- ඇතිව ඉණනොගා. මවුකුසින් උපන් වනු ම ඇවිද උග්‍ර වූ තපස් රක්ෂා කරන්නාවූ අපගේ නිගණ්ඨනාථ පුත්‍රයන් කරා යම්හ”යි කීය. මෙසේ ඒ අමාත්‍යයන් කදුරෙහි රස, කසඹිලියෙහි සිහිල, වර්ණනා කරනුවන් සේ තමන්ගේ ලබ්ධි ගත් නිවටුන්ගේ නම් වෙන වෙන ම කී කල මී අඹයේ ලොභ කරන පුරුෂයකු කදුරු පලෙක්හි තෘෂ්ණා නැත්තා සේ එබස් නො ගිවිස මුයෙන් නොබැන හිඳ තමන් ළඟ හුන් ජීවකයන් බණවා “යහළු ජීවකය! තා තෙල් වැළඳූ ගරුඬ පොව්වකු සේ මුයෙන් නොබැණ හිඳිනැ”යි කීහ.

රජ්ජුරුවෝ මෙතෙක් කථා කරන්නාහු ජීවකයන් සඳහා ම කීහ. කාරණ කිම? යත්; තමන් කැඳවාගෙන ගොස් බුදුන් දක්වන සඳහා කීහ. තුමූ ගොස් බුදුන් දැක්ක නොහෙන්නාහුද යත්? තමන් බුදුන්ගේ උපාසක් වූ රජහු මැරූ අපරාධ ඇති හෙයිනුත් දේවදත්තයා හා එක්ව බුදුන්ට කළ අපරාධ බොහෝ ව ඇති හෙයිනුත්, බුදුන් දක්නට භය ඇති ව “ජීවකයා හා සමඟ ගොස් ඔහු පිටිපස හිඳ බුදුන් දකිමි” යි සිතා මෙ තෙක් පර කථා ඉපැදවූහ.

රජ්ජුරුවන්ගේ අභිප්‍රාය ජීවකයෝ නො දන්නාහු දැ”යි යත්? දනිත් ම ය; වැළි කුමක් නිසා නො බැණ හුන්නාහු දැයි යත්; තමන් තමන් හැමදෙනා කැමති කැමැත්තක් දොඩා වික්‍ෂෙප හරනා තුරු හුන්නු ය. කෙසේ ද යත්, ඒ සභාවෙහි ඒ මිථ්‍යා දෘෂ්ටීන් සදෙනාගේ ලබ්ධි ගත්තාහු බොහෝ දෙන ය, “මම පළමු කොට බුදුගුණ කියන්ට පටන් ගතිම් නම් නැඟී සිට අසු අස්සේ තමන් තමන්ගේ නිවටුන්ගේ ගුණ කියති, එ කල මා කියන බුදුගුණ නිමාවට නො පැමිණෙයි, රජ වනාහි පෙරම ඒ නිවටුන් සදෙනා කරා එළඹ ඔවුන්ගේ සාරගුණයක් නැතැ යි දන්නා හෙයින් මා අතින් විචාරයි, එවේලෙහි මම බුදුන්ගේ ගුණ කියා මෙ රජ බුදුන් කරා ගෙන යෙමි”යි සිතාලා රජ්ජුරුවන්ගේ අභිප්‍රාය දැනත් මුයෙන් නොබැණ ම හුන්නාහුය.

ඉක්බිත්තෙන් අජාසත් රජ්ජුරුවෝ ඒ අමාත්‍යයන් කියන වෙන වෙන කථා අසා “යම් සත්ත්‍ව කෙනෙකුන්ගේ කථා නො අසන්නා කැමැත්තෙම් ද, ඔහු පෙරළ පෙරළා කථා කෙරෙති, යමකුගේ බස් අසනු කැමතියෙම් නම් ඒ ජීවකයා මා හා සමඟ කථා නො කෙරෙයි, ඉතා මට මහත්වූ හානියෙකැ”යි සිතා “මේ ජීවකයා උපසාන්ත වූ ගුණ ඇති බුදුන්ගේ උපාසක ය, තෙමේ ද උපසාන්ත ය, එසේ හෙයින් වත් සම්පන්න වූ භික්‍ෂුකෙනෙකුන් සේ මුයෙන් නො බැණ ම හිඳිනේ ය, මා කථා නො කළ කල ඒ කථා නො කෙරෙයි, ඇත්බඳක් මඩනා කල ඇත් පයින් මැඩිය මැනැව”යි සිතා ජීවකයන් මුහුණ බලා “ජීවකය! මේ අමාත්‍යයන් තමන් තමන් ලබ්ධිගතුවන්ගේ ගුණ කියන්ට මුඛ නො සෑහෙයි, ඔවුන් සේ ම තාත් ලබ්ධිගත් මහණ බමුණු කෙනෙක් නැද්ද? මාගේ පියාණන් වහන්සේ තට කිසි සැපතකුත් නුදුන් සේක් ද? දුඃඛිතයෙහි ද? නොහොත් සැදෑ නැතියෙහි ද?යි විචාළාහු ය.

එ කල්හි ජීවකයෝ “මේ රජ්ජුරුවෝ මා ලවා බුදුන්ගේ ගුණ කියවනු කැමැත්තාහු වන, දැන්මා නොබැණ හිඳිනා කල් නො වෙයි” සිතාලා “යම්සේ සෙසු අමාත්‍යයෝ රජ්ජුරුවන් වැඳ වැඳ තමන් තමන් නිවටුන්ගේ ගුණ කියත් ද? බුදුන්ගේ ගුණ මම එසේ නො කියමි”යි සිතාලා හුනස්නෙන් පැන නැඟී බුදුන් දිශාව බලා පසඟ පිහිටුවා වැඳලා දොහොත් මුදුනෙහි තබා ගෙන “රජ්ජුරුවන් වහන්ස! එසේ මෙසේ මහණකු කරා මා එළඹෙතියි නො සිතුව මැනැව, මාගේ බුදුන් මවුකුස පිළිසිඳ ගත් වේලෙහි ද, මවුකුසින් බිහි වූ වේලෙහි ද මහභිනික්මන් කළ වේලෙහි ද, බුදු වූ වේලෙහි ද, දම්සක් දෙසූ වේලෙහි ද, යමා මහ පෙළහර පෑ වේලෙහි ද, යනාදී නො එක් බුදුමඟුලෙහි දසදහසක් සක්වළ ම ගුගුරා නැංග. මෙසේ යමා මහ පෙළහර පෑ සේක. විජම් බණ දෙසූ සේක. මෙසේ දෙවොරොහණය කළ සේක. වැළි මාගේ බුදුන්ගේ ගුණ කියමි. රජ්ජුරුවන් වහන්ස! සිත් එකඟ ඇසුව මැනවැ”යි කියාලා;

අයං දෙව භගවා අරහං සම්මා සම්බුද්ධෝ අම්හාකං අම්බවනෙ විහරති මහතා භික්ඛුසංඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි, තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්ම සාරථි සත්‍ථා දෙවමනුස්සානං බුද්ධෝ භගවා ති, තං දෙවො භගවන්තං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස භගවන්තං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා” ති.

බුදුන්ගේ ගුණ කියන්නාහු “මහරජ! අප බුදුහු මාගේ අඹවනයෙහි එක් දහස් දෙසිය පනස් මහාශ්‍රාවකයන් පිරිවරා දැන් වැඩවසන සේක, නුඹ වැනි සියක් දහසක් ලක්‍ෂයක් දුටත් සිත් ගෙන ම බණ වදාරන සේක, සිත් සේ බුදුන් කරා එළඹ පැන විචාළ මැනැව” යි කීහ. රජ්ජුරුවන් බුදුගුණ අසත් අසත් සර්‍වාඞ්ගය පස්වනක් ප්‍රීතීන් පිනා ගිය.

එ වේලෙහි බුදුන් කරා යනු කැමැති ව “මා නො වේලෙහි බුදුන් කරා යන කල යානාවන් සරහන්ට ජීවකයන් විනා අනික් කිසිවෙක් සුදුසු නො වෙ”යි සිතා “යහළු ජීවකයෙනි! සන්සුන් බුදුන් කරා යන්නවුන් සන්සුන් යානාවෙන් ගිය මැනව. තෙපි ගොස් ඇත්යාන් සරහාලව”යි කීහ. එකල ජීවකයෝ “රජ්ජුරුවෝ මෙ වේලෙහිම බුදුන් දක්නට යනු කැමැතියහ, රජ්ජුරුවන්ට සතුරෝ බෙහෙව, අතුරුමඟ කිසි උපද්‍රවයෙක් වී නම් “ජීවකයා රජ්ජුරුවන් ගිවිස්වාගෙන ගොස් රජු නසාපිය”යි රාජද්‍රෝහ වූ බසුදු මට උපද්දී, බුදුන්ටත් නින්දා කෙරෙති, එ බැවින් මට ද මාගේ බුදුන්ට ද නින්දා නො වන සේ යම් සේ රජහට ඉතා ක්‍ෂේම වූ ආරක්ෂා වේ ද, එ සෙයින් ම අරක්ගන්වමි”යි සිතාලා “ස්ත්‍රීන් නිසා පුරුෂයන්ට භය නම් නැත, ස්ත්‍රීන් පිරිවරා සුවයෙන් රජු භය නැති ව ගිය මැනැවැ”යි පන්සීයක් ඇතින්නන් සදා, පන්සියක් නාටක ස්ත්‍රීන් පිරිමි වෙස් ගන්වා, ඇතින්නන් පිටට නංවා රජ්ජුරුවන් පිරිවරා යන සේ කොට නැවත සිතන්නාහු “කෙසේ බුදුන් දුටත්, බණ ඇසුවත් පියරජහු මරා ආනන්තර්‍ය්‍ය කර්මයෙහි යෙදුණු හෙයින් මේ රජ මාර්‍ගඵල නො ලැබේ ම ය, බුදුහු නම් සත්ත්‍වයන්ගේ අධිගම බලා බණ වදාරණ සේක, ඒ කාරණයෙන් බොහෝ දෙන රැස් කොට ගෙන ගියෙම් නම් එයින් කිසි කෙනෙකුන්ගේ අධිගම බලා බුදුහු බණ වදාරන සේක් ම ය. එසේ කල ඒ දේශනාව බොහෝ දෙනාට වැඩවෙ”යි සිතා නුවර බෙර ලබා “අද රෑ රජ්ජුරුවෝ බුදුන් දක්නට යෙති, හැමදෙනා ම තමන් තමන්ගේ සනුමානයෙන් අවුදින් රජ්ජුරුවන්ට රැකවල් ගන්නේ ය”යි නියෝග කැරවූහ.

එ කල බොහෝ ජනයෝ “අපගේ රජ අද බුදුන් දක්නට යේ ල, ඕහට බුදුන් වදාරන ධර්‍ම දේශනා කෙබඳු දෝ හෝ යි සැණකෙළි හැර පියා හැම දෙන ම ගඳ-මල්-පහන් ගෙන රජ්ජුරුවන් පෙර මඟට ගොස් බල බලා සිටගත්හ. එ වේලෙහි ජීවකයෝ රජ්ජුරුවන් වහන්ස! ඇතුන් සදන ලද, නික්මුණ මැනැවැ”යි කීහ. එ රජ පන්සියක් ඇතින්නන් නැඟී කඩු තෝමර ගත් පන්සියක් ස්ත්‍රීසේනාව පිරිවරා තෙමේ මඟුලැත්කඳට නැගී දහස්ගණන් මිණි දඬු වැට පහනින් හිරු නැඟී කලක් සේ, ඒකාලෝක කරවා මහත්වූ රාජර්ධීන් නුවරින් පිටත් වීය.

මෙසේ පන්සියක් ස්ත්‍රීහු කෙස්වැටි බැඳ, දසරුවෙහි කඩු ලා, මිණිදඬු තෝමර ගෙන, රජු පිරිවරා නික්මුණාහ, ඔවුන් ඉක්බිති සොළොස් දහසක් පමණ ක්‍ෂත්‍රිය නාටකයෝ රජු පිරිවරා නික්මුණාහ, ඔවුන් ඉක්බිති කුරු කුදු කිරාතාදි දස මෙහෙ තැන්ද නික්මුණාහ, ඔවුන් ඉක්බිති ව රජගෙය රකිනා රජ්ජුරුවන්ට විශ්වාසී වූ ඇමති පෙළෙක් නික්මුණාහ, ඔවුන් ඉක්බිති ව සුපිපි කිණිහිරි රුක් සේ කනකාභරණයෙන් දිලිසෙන්නාවූ සැටදහසක් පමණ මහ ඇමතියෝ නික්මුණාහ. ඔවුන් ඉක්බිතිව මඤ්ජුෂක වෘක්‍ෂයන් සේ නානාවර්ණ වූ අලංකාරයෙන් හෙබියා වූ විද්‍යාධර භටයන් බඳු වූ අනූදහසක් පමණ රජ දරුවෝ නික්මුණාහ. ඔවුන් ඉක්බිති ව සියක් වටනා සළු හැඳ පන්සියක් වටනා උතුරුසළු එකස් කොට කරට දමා නහා ගඳවිලෙවුන් ගෙන නන් විසිතුරු වූ ආභරණ හා මල්දම් පැලඳ දසදහසක් පමණ මත් බමුණෝ දකුණත් ඔසවා භට්ටාඞ්ග කිය කියා නික්මුණාහ. ඔවුන් ඉක්බිති ව පඤ්චාඞ්ගික තූර්‍ය්‍යසෙනාව සමුද්‍රඝෝෂාවක් සේ පොළොව ගුගුරනා හඬ සේ මහා ඝෝෂා කෙරෙමින් නික්මුණාහ.

ඔවුන් ඉක්බිති ව රන්හියවුරු පිට හෙළා රන්දුනු ගත් දුනු සේනාව නික්මුණාහ. ඔවුන් ඉක්බිති ව ඔවුනොවුන් ඇඟ ගැසි ගැසී පර්‍වත පෙළක් සේ ඇත් සෙනග නික්මුණාහ. ඔවුන් ඉක්බිති ව රළපතර දිවන්නා සේ කරින්කර පැහැර අශ්වසේනාව නික්මුණාහ, ඔවුන් ඉක්බිති ව සකින් සක ගැසි රථසෙනග නික්මුණාහ. ඔවුන් ඉක්බිති ව උරයෙන් උර ගැසි ගැසී යන පඤ්චායුධ ගෙන යෝධසේනාව නික්මුණාහ. ඔවුන් ඉක්බිතිව තමන් තමන්ට නිසි වූ ආභරණ හා ආයුධ ගෙන අටළොස් කුලෙහි බලපිරිස් නික්මුණාහ. යම් සේ කෙළවර සිට බලසම්පන්න දුනුවායකු උරපුරා ඇද විදපු සැරයෙක් රජු කරා නො පැමිණේ ද, එසෙයින් ම ජීවකයෝ මේ රජසෙනග තුදුස් වළල්ලක් කොට සංවිධාන කොට ලා “ඉදින් රජ්ජුරුවන්ට කිසි උපද්‍රවයෙක් වේ නම් හැම දෙනාට පළමු කොට රජුට මාගේ ජීවිතය දෙමි”යි තුමූ රජහු ළඟ මහත්වූ කඩුවක් ගෙන යන්නාහුය. ලියවැට, මිණිදඬු වැට පහන් මෙ තෙක් දහස් ගණනැයි පමණ නැත.

මෙසේ මහත් වූ රාජානුභාවයෙන් දෙතිස් මහදොරක් හා සූසැට සුළු දොරක් ඇති ඒ රජගහා නුවර නැගෙනහිර මහවාසලින් නික්ම නුවර මහපවුර හා ගිජ්ඣකූට පර්‍වතය අතුරෙහි ඒ ජීවකයන්ගේ අඹඋයනට සමීප ව ගිය කල, ජීවකයන්ගේ විධානයෙන් ම බුදුන් කෙරෙහි ආදරයෙන් මේ සා සෙනග කිසි අරගලයක් කළ නො දී නිශ්ශබ්ද ව රළ නැති මුහුදක් සේ සුළං නැති වනයක් සේ සන්හිඳී යන වේලෙහි අජාසත් රජ්ජුරුවන්ට භයෙක් උපණ. කෙසේ වූ භයෙක් උපන් ද? යත්;

එක්දහස් දෙසියපනස් මහරහතන් සමඟින් බුදුන් වැඩහුන් අඹ උයනෙහි කැසපියන—–කිබීසපියන හඬකුත් නො ඇසෙයි, ජීවකයා උපායෙන් මා නුවරින් පිටත් කොට පියා ඉදිරියෙන් බල සෙනගක් ගෙනවුත් මා මරා තෙමේ මේ රජය ගනිමි යි සිතී දෝ හෝ මේ ජීවකයා නම් ඇතුන් පස්දෙනෙකුට බල ඇත්තේ ය, එසේ වූ තැනැත්තේ මහත් කඩුවක් ගෙන මට ළං ළංව ම යෙයි, මා සමීපයෙහි ස්ත්‍රීන් මුත් ආයුධ ගත්තා වූ එක පුරුෂයෙකුත් නැත, අද මට වූයේ ඉතා මහත් වූ හානියෙකැ යි මරණ භයින් වෙවුලා “යහළු ජීවකය! මා නොනස”යි කීහ. එ කෙණෙහි ජීවකයෝ “මේ රජ මා සෝවාන් නියාවත්, ලේඬිල්ලකුත් නො බිඳිනා නියාවත්, අනුන් සතු දා හු වැලයකුත් නො ගන්නා නියාවත්, මාගේ මාත්‍රා නො දන්ති. මේ රජහු අස්වසා නොලීම් නම් මරණ භයින් මියේ දෝ හෝ”යි සිතා “මහරජ! භය නො කළ මැනැව, මාගේ බුදුන් වැඩහුන් ගන්‍ධමණ්ඩල මාලකයෙහි දඬුවැට පහන් දිලියෙන්නා බැලුව මැනැවැ”යි කියා අත නඟා පෑහ. එ කල්හි රජු දොරටුයෙන් පිටත සිට ම ඇතුපිටින් බිමට බැස සිටියේ ය.

එ කල මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ අජාසත් රජහු තමන් වහන්සේ දක්නට එන සේ දැක, ඌ භය පත් වූ සේත් දැන, තමන් වහන්සේගේ මහාකරුණාව ඔහු කරා මෙහෙයා තමා අභිමුඛයට එන පුත් කුමරක් හට අත දිගු කොට ඔහු පිරිමදනා සේ තමන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් බුදුරැස් කඳක් හැර රජුගේ ශරීරයෙහි පහළ සේක. එකෙණෙහි රජුට භය සන්හිඳී ගිය. බුදුන්ගේ තෙජසින් රජුගේ සර්‍වාඞ්ගයෙහි ඩා සෙල්වී හන් සළු තෙමී ගියා සේ විය. නැවත නැවත තමා බුදුන්ට කළ අපරාධය සිහි කොට බුදුන් කෙරේ මහත් වූ භය ඇතිව, රජ බ්‍රහ්මස්ථානයෙන් නිර්භීත ව ගොස් බුදුන් දැක්ක නොහී ජීවකයන් අත අල්වා ගෙන උයනෙහි කර්‍මාන්ත බලා ඇවිදිනා සේ “ජීවකයෙනි! තොප මේ විහාරය කැරවූ නියා යහපත, මේ පවුර යහපත, මේ පදනම යහපත, මේ මණ්ඩප යහපත, මේ පැන් පොකුණ යහපත”” යනාදීන් ගුණ කිය කියා අනුක්‍රමයෙන් ගොස් ගන්‍ධමණ්ඩල මාලකයට වැද තරු මැද සඳ සේ සඟ පිරිස් මැද දිලියෙන බුදුන් බල බලා ම “යහළු ජීවකය! බුදුහු නම් කවුරුන් වහන්සේ දැ”යි විචාළහ.

සමහරු නො හැඳින ම විචාරන්නාහුය, මේ අජාසත් රජ තමා ඈපා කල පියරජ්ජුරුවන් හා සමඟ ගොස් බුදුන් දුටු විරී ය: පසුව පාපමිත්‍ර වූ දෙවිදතුගේ අසහායෙන් බුදුන්ට අපරාධ කොට බුදුන් දක්නට නො ආ බව මුත් බුදුන් අඳුනේ ම ය, බුදුහු වනාහි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසු අනූබ්‍යඤ්ජන ලක්‍ෂණයන් ඇති සේක, සවනක් රැසින් දිලියෙමින් වැඩහුන් සේක්ම ය. මේ රජ තමාගේ ඓශ්චර්‍ය්‍යයෙන් මත් ව බුදුන් හැඳින හැඳින ම “බුදුහු කොයි දැ”යි විචාළේ ය. දැන දැනත් “මොහු කවුරුදැ?” යි විචාරීම රජදරුවන් ගේ සිරිතෙක් ම ය.

ජීවකයෝ “බුදුහු කොයි දැ”යි කී බස් අසා “මේ රජ බිම සිට බිම කොයි දැ යි විචාරන්නා සේ, අහස බලා සඳු කොයි දැ යි විචාරන්නා සේ, උදය පර්‍වතය බලා හිරු කොයි දැ යි විචාරන්නා සේ, බුදුන් බල බලා ම සිට බුදුහු කොයි දැ යි විචාරයි, එ බැවින් මෝහට බුදුන් දක්වමි”යි සිතාලා ඇදිලි බැඳ සිට “මහරජ! ධර්‍ම මණ්ඩලයෙහි මැද ටැඹට පිට ලා පැදුම් දෙස බල බලා සඟපිරිස් පිරිවරා බුද්ධාසන මැද දිලියෙන බුදුන් බලව”යි කීහ.

එ වේලෙහි රජ්ජුරුවෝ බුදුන් ලඟට ගොස් බුදුන් හා රහතන් බලා මෙ බඳු වූ උපසාන්ත වූ බුදු පිරිසෙක් වනැ යි සතුටින් පින පිනා එකත්පස්ව සිට වාත රහිත ස්ථානයෙක පිපී වැනී ගියා වූ රත්පියුම් වනයක් සේ, ක්ෂාන්ත්‍යාදී ප්‍රතිපත්තීන් නිශ්චල ව වැඩහුන්නාවූ සඟපිරිස් දැක “සර්වාභරණයෙන් සැදී අවුත් සිටි මේ සා රජ පිරිසක් එක භික්ෂුකෙනෙකුත් සරු ඇති ව කර ඔසවා බලන කෙනෙක් නැත. හැමදෙනා වහන්සේ ම හස්තපාද චලනාදියක් නැතිව ම බුදුන්ගේ ශ්‍රී මුඛය බල බලා ම හිඳිනා සේකැ”යි සංඝයාගේ උපශාන්ත වූ සම්පත් දැක පැහැද මඩ නැති විලක් සේ සන්හුන් ගුණ හා ශාන්ත වූ ඉඳුරන් ඇති මේ සඟපිරිස නැවත නැවත බල බලා “මෙබඳු වූ උපශාන්ත වූ ශ්‍රී විභූතියෙක් මාගේ පුතණුවන් උදය කුමාරයන්ටත් වේව”යි සිතූහ. උතුම් වූ රසයක් දැක ද, උතුම් වූ වික්‍රමයක් දැක ද, උතුම් වූ ගුණයක් දැක ද, උතුම් වූ ඓශ්චර්‍ය්‍යයෙක් දැක ද, උතුම් වූ රූපයක් දැක ද, මෙබඳු ශ්‍රීයෙක් මාගේ දරුවන්ට ද වේවයි සිතීම සියලු ලෝකවාසීන්ගේ ම මතයෙක; එසේ හෙයින් රජ්ජුරුවෝත් බුදුන්ගේ ඓශ්චර්‍ය්‍යය දැක පුතණුවන් සඳහන් කළහ යි දතයුතු.

එ වේලෙහි ස්වාමිදරුවෝ රජු සිතූ සිත දැන “මෙ රජ මා වඳින්ටත් භය ඇතියේ ය, මා හා සමඟ කථා කරන්ටත් භය ඇති යේ ය, මා මුඛයෙන් නොබිණු කල කිසිවෙක් මා හා සමඟ කථා කොට ගත නොහෙයි, එකවචනයෙකින් මොහුගේ භය හරවමි” යි සිතාලා තමන් වහන්සේගේ අෂ්ටාඞ්ගයෙන් ලීලොපෙත වූ බ්‍රහ්මනාදයෙන් රජු හා සමඟ කථා කරන සේක් “මහරජ! පර්වත මුදුනෙක වටුවා වූ වර්ෂාවෙක වතුරුදිය ගොස් වළතැනෙක වැගිරෙන්නා සේ, මාගේ ශාසනයෙහි උපන්නා තාගේ ප්‍රේම නමැති වතුරු තාගේ පුතු කරා ම ගොස් වැද ගියේ දැ” වදාළ සේක.

එ කෙණෙහි රජ පස්වනක් ප්‍රීතීන් පිරුණා වූ ශරීර ඇති ව “බුදුන්ගේ ගුණ අපමණ බවු දැන් ම දත්මි, මා සේ වූ බුදුන්ට අපරාධ කළාවූ බුද්ධ ද්‍රෝහියෙක් අනික් කිසි තැනෙකත් නැත්තේ ම ය, මා විසින් බුදුන්ගේ අග්‍ර උපාසක වූ රජ්ජුරුවනුත් මරණ ලද. දෙවිදතුගේ බසින් බුදුන් මරන්ට දුනුවායනු දු මෙහෙයීමි. තව ද ඔහුගේ ම බසින් බුදුන් මරන්ට නාලාගිරි ඇතු මෙහෙයීමි. මාගේ ම පිහිට බලයෙන් දේවදත්තයා බුදුන් ඉසට ගලුත් පෙරළී ය. මේ සා අපරාධ කළාවූ මා වැනි ද්‍රෝහියකු දැක බුදුහු ප්‍රිය තෙපුල් ම වදාරන සේක. ඉතා ආශ්චර්‍යය, බුදුහු පඤ්චප්‍රකාර වූ උතුම් ගුණයෙහිම පිහිටි සේක. මෙ බඳු වූ කරුණා නිධානයක්, කරුණා ආකරයක්, කරුණා ප්‍රවාහයක්, කරුණා ගංගාවක් හැර පියා රුවන් හැර අඟුරු ගත්තාසේ නිෂ්කාරණ වූ ඇදුරන් කරා ඇවිද්දෙමි”යි කිය කියා, සන්තෝෂයෙන් පින පිනා, රජ භය හැර පුතු කෙරෙහි තමා ප්‍රේම ඇති පරිදි කිය කියා, බුදුන් වැඳ පෙරළී ගිය වේලෙහි සිහිල් වූ දිය විලකට වැදගිය පුරුෂයකු ගොඩ නො නැඟෙන්නා සේ, නො එක් වාරයෙහි බුදුන් වැඳ, “සඟපිරිස් වඳිම් නම් බුදුන්ට පිටිපෑව මැනැවැ”යි සිතා සඟපිරිස බැසහෙව නො වැඳ, ඇඳිලි බැඳ ආදර දක්වා අෂ්ටප්‍රකාර වූ නිෂද්‍ය දෝෂයෙන් වර්ජිත ව එකත්පස්ව හිඳගත.

අෂ්ට නිෂද්‍යා දෝෂයන්

නිෂද්‍ය දෝෂ අට නම් කවර? යත්;

කර අඹරා බලන සේ පිටිපසු ව ලා නොහිඳීම ය. දෘෂ්ටි පළා බලන සේ බ්‍රහ්මස්ථානයෙහි නො හිඳීම ය, දොඩන කල ඇඟට කෙළ නො ඉසෙන සේ ඉතා ළංව නො හිඳීම ය, අඞ්ගා කථා කරන සේ ඉතා දුරුව ලා නොහිඳීම ය, තමා ඇඟ ගත් සුළං බුදුන් ඇඟට යන සේ උඩුසුළඟට ව ලා නො හිඳීමය, බුදුන් ඇඟ ගත් පවන් තමා ඇඟ ගන්නා සේ යටිසුළඟට ව හිඳීම ය; කර ඔසවා බලන සේ උස් තෙනකට ව ලා නො හිඳීම ය, කර හෙළා බල බලා කථා කරන සේ‍ ඉතා වළතැනට ව ලා නො හිඳීම ය යන මේ අට වැදෑරුම් වූ නිෂද්‍ය දෝෂ නම්. කීයේ මැනෝ:

න පච්ඡතො න පුරතො - නපි ආසන්තදූරතො,

න කච්ඡෙ නො පටිවාතෙ - න චාපි ඔනතුන්නතෙ;

එතෙ දොසෙ විවජ්ජෙත්වා - එකමන්තන්ති වුච්චති-යි.

අජාසත් රජු පැන විචාරීම

මේ නිෂද්‍යදෝෂ අට නම් බුදුන්ට මතු නො වෙයි, සියලු උත්තමයන් සමීපයෙහි හිඳ කථා කරන්නක්හු විසින් දුරුකළ යුත්තේම ය. එ දා මෙසේ ඒ අජාසත් රජ්ජුරුවෝ ද බුදුන් සමීපයෙහි එකත් පස් ව හිඳ පැන විචාරන්නට අවසර ඉල්වූවාහුය. එ කල “මහරජ තා සිතට වැටහුණු යම් පැනයක් විචාර, මම ඒ තට කියමි”යි සර්‍වඥප්‍රචාරණයෙන් පැවරූ සේක.

එ කල රජ්ජුරුවෝ බුදුන් අතින් අවසර ලදින් කියන්නාහු ස්වාමිනි! මේ ලෝකයෙහි සත්වයෝ හස්තිශිල්ප අශ්වශිල්ප රථ ශිල්පාදි නො එක් ශිල්ප නිමවා දැනගෙන, ඒ ශිල්ප බලයෙන් රජ යුව රජ මහ ඇමතියන් පහදාගෙන ධන උපදවා ගෙන, ඒ ධනයෙන් අඹුදරුවන් රකිති, නෑයන් මිත්‍රයන් රකිති, තුමූත් සුව විඳ රැකෙති, එම ධනයෙන් පින් කොටගෙන පරලොවත් සුව විඳිනාහු ය: එසේ හෙයින් ශිල්ප දත්තාහට මෙ ලොවත් සුව ම ඇත; පරලොවත් සුව ම ඇත, නුඹ වහන්සේගේ ශාසනයෙහි ශීල නමැති ශිල්පය හදාරා, මහණධම් පුරන්නා වූ භික්ෂූන්ට පරලොව දිව්‍ය සම්පත් බ්‍රහ්මසම්පත් මොක්‍ෂසම්පත් ලැබේ ම ය; මෙ ලොව එක් වේලේ සයින් හොවිති, දොරින් දොර පිඬු සිඟති, රුක්මුල් සුසානා දියෙහි ශීත සුළං මැසි මදුරු ආදීන් පීඩා විඳිති, හුණු කැමැති කල සිහිල් ලැබෙති, සිහිල් කැමැති කල හුණු ලැබෙයි, අඹුවන් නැතියහ, දරුවන් නැතියහ. දිවිහිමියෙන් එකලා ව වෙසෙති, මෙසේ මහණධර්‍ම පුරන්නාහු මෙලොව මහත් වූ දුක්ම ගනිති, පරලොව සුව විඳිති, එසේ හෙයින් නුඹ වහන්සේගේ ශාසන ශිල්පය ඉගෙන වසන්නවුන් මෙ ලොව දී ලබන්නාවූ සුවයෙක් ඇද්දැ” යි විචාළෝය.

ඉක්බිත්තෙන් බුදුහු “මේ රජු හා සමඟ මෙ තෙනට ආ මිථ්‍යා දෘෂ්ටි ගතුවෝ බෙහෙව, පළමුකොට උන්ගේ මානය බිඳ සන්හිඳුවාලා පසුව මෝහට මේ පැනය කියමි”යි සිතාලා “මහරජ! තා විචාළේ පැනයෙක් ම ය, පෙරත් මේ පැනය මහණබමුණන් අතින් විචාළවිරී දැ”යි වදාළ සේක. රජ්ජුරුවෝ කියන්නාහු “ස්වාමීනි! නුඹවහන්සේ අතින් නො විචාළ බව මුත් අපි බුදුම්හ, අපි බුදුම්හයි කියා ඇවිදිනා පූරණකාශ්‍යපාදි නිවටුන් සදෙනා අතින් ම විචාළෙමි, ඔහු මේ පැනය මා විචාළ කල අස් කාගේ දැ යි විචාළ කල, ගොන් වන්නක් කාගේ යයි කියන්නා සේ, සඳ නැංගේ දැ යි විචාළ කල මා ආයේ පිටි මඟ යයි කියන්නාසේ “අම්බං පුට්ඨො - ලබුජං බ්‍යාකරොති” යනු හෙයින් මා විචාළ දෙය හැර පියා අනික් තමන් සිතු සිතූ දෙයක් ම කියන්නාහු ය, එ වේලෙහි මම කිපී මේ කොල්ලන් මරවමි”යි සිතා අසුවල් රජ තමාගේ නුවරට ගියා වූ මහණ බමුණන්ට අනාදර කෙරෙයි කියා නුගුණ සැල වේ දෝ හෝ යි යන භයින් නො මරා හැරපීමි”යි කීවාහුය. එ කෙණෙහි නො එක් ලබ්ධි ගත්තාවූ මිථ්‍යාදෘෂ්ටි ‘නයින්ට විෂමුල් පෑවා සේ’ භයගෙන නිශ්ශබ්දවූහ. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ “ස්වාමීනි! මහණම් ඵල මට වදාළ මැනැවැ”යි කීහ.

බුදුහු වදාරණසේක් “මහරජ, තා අතින් ම විචාරමි; තාගේ එක් කීකරු වූ ගැත්තෙක් තට මෙහෙ කොට විඩා ව පියා, ‘මේ රජත් මිනිස, මමත් මිනිසිමි, මේ රජ දිව්‍යයකු වැනියේ ය, මහපිරිස් ඇතියේ ය, මහ රට ඇතියේ ය, පඤ්චකාමගුණයෙනුත් මෙම අග්‍ර ය, මාත් දන් පින් කොට මේ රජු හා සම වුව මැනැව, ඉදින් දිවි හිමියෙන් දන් දෙම් නම් මොහු එක දවසක් දුන් දන් සියක් වන කොට්ඨාසයකුත් දීලිය නො හෙමි, එසේ හෙයින් දන් දී මොහු ජය ගත නො හෙමි, මොහු දිවිහිමියෙන් දුන් දානඵලයට එක දවසක් රක්‍ෂා කළාවූ ශීල ඵල මහත එසේ හෙයින් සිල් රක්‍ෂා කොට මෝ හට වඩා පින් රැස් කෙරෙමි’යි සිතාලා මාගේ සසුන් වැඳ මහණ ව, ශීල නමැති ශිල්පය නිමවා දැනගෙන අපිස් සතොස්ව, ගුණධර්‍ම පුරනුයේ වී නම් එ කල තෝ වනාහි “මාගේ අසුවල් කොලු අවුදින් මට මෙහෙ කරන්නේ ය”යි කිය යි ද, නොකිය යි දැ” යි විචාළසේක. රජ්ජුරුවෝ කියන්නාහු “ස්වාමිනි! ඕහට මේ කියන්නා තබා ඔහු උස ඉඳුවාලා වඳුම්හ, පුදම්හ, සිවුපසයෙන් දන් දෙම්හ””යි කීහ. මහරජ! තෝ තාගේ කොල්ලාට ඒ සා සත්කාරයක් ශීල ශිල්පයාගේ බලයෙන්කෙරෙයි නම් මෙම ජාතියෙහි ඔහු සුව විඳිනේ වේ දැ යි වදාළ සේක.

.

රජ්ජුරුවෝ “ස්වාමිනි! මෙම ජාතියෙහි ඔහු විඳිනා සුවම යැ”යි කියා තුන්යලක් සාධුකාරදී “ස්වාමිනි! මෙම ජන්මයෙහි අනික් සුවයක් ම හා දැක්විය හෙද්දැ”යි විචාළහ. බුදුහු “මහරජ! ඒ පැනයත් තා ම විචාරමි. තාගේ කිරියක් සානා ගොවියෙක් තට උපයා විඩා ව පියා එසේම තා කෙරෙහි අභිමානකොට මාගේ සසුනයෙහි මහණව සිල්වත් ව ගුණ පුරා නම් එකල තෝ “මාගේ අසුවල් ගොවියා අසු වල් කිරය සානේ, කිරිය සා මට වී දෙන්නේ’ යයි කියා එලවයි ද, නො එලවයිදැ”යි විචාළසේක. රජ්ජුරුවෝ කියන්නාහු “ස්වාමිනි ඔහු අතින් වී එලවන්නා තබා ඕහට අපගේ වීත් දැන් දෙම්හ, වඳුම්හ, පුදම්හ, සත්කාර කරම්හ”යි කීහ. මහරජ! මාගේ සසුන් වන්නවුන් මෙම ජාතියෙහි විඳිනා මෙයිත් එක් සුවයෙක් වේ දැ යි වදාළ සේක.

රජ්ජුරුවෝ “ඒකාන්තයෙන් මීට වඩනා සුව විඳීමෙක් නැතැ”යි සන්තුෂ්ටව තුන් යලක් සාධුකාර දී “තව ද: ස්වාමීනි” පැවිදි වූවන් මෙම ජාතියෙහි විඳිනා සුව ඇද්දැ” යි විචාළහ. ඉක්බිත්තෙන් බුදුරජාණෝ “ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධො” යි යනාදීන් ක්‍රමයෙන් බුද්ධෝත්පාදයෙහි පටන්ගෙන අර්හත්ඵලය කෙළවර කොට ආකාශගඩ්ගාව ගෙනහැර දක්වන්නා සේ ධර්‍ම දෙශනා කොට “මහරජ! මෙම ජාතියෙහි විඳිනා ශ්‍රාමණ්‍යඵලයට වඩනා අනික් උතුම් ඵලයක් මේ ලෝකයෙහි නැතැ”යි වදාළ සේක. ඒ අජාසත් රජ්ජුරුවන් පැන විචාළ පරිදිත් බුදුන් විසඳු පරිදිත්, දික්සඟියෙහි ශ්‍රාමාණ්‍යඵලසූත්‍රදේශනාව කළ පරිද්දෙන් බලා දතයුතු.

එ දා රජ්ජුරුවෝ නැවත නැවත සාධූකාර පූජා කොට කොට ආදි මධ්‍යාවසානය සකස් කොට බණ අසා “ස්වාමිදරුවාණෙනි! මෙතෙක් දවස් බොහෝ මහණ බමුණන් දැක දවසෙක පෑර සාලැටක් නො ලබන්නා සේ සාරත්‍වයක් නො ලද්දෙමි, නුඹවහන්සේගේ ගුණ සම්පත්තිය ඉතා මහත, පහන් දහසක් ආලෝක දුන්නා සේ මාගේ නුවණ පහන ඉතා ප්‍රසන්න කොට වදාළ සේක. අද වනාහි අමා පිරූ කළයක් සේ නුඹවහන්සේගේ ගුණ පිරුණා වූ ශරීර ඇතියෙමි, බොහෝ දවසක් සැඟවී තුබු නිධානවස්තුවක් මට පෑවා වැනි සේක, අඳුරු ගෙයෙක ප්‍රදීප සහස්‍රයක් දැල්වූවා වැනි සේක, මුණින් නමා තුබූ වස්තුවක් මතු බලා තුබුවා වැනි සේක, අද පටන් ජීවිතය හරිම් නමුත් තුනුරුවන් සරණ නො හරිමි. ඉදින් යමෙක් සියුම් වූ කඩුවකින් හිස කපා නමුත් බුදුන් නො බුදුනැයි නො කියමි. දහම් නො දහමැයි නො කියමි, දැන් ම මා නුඹවහන්සේගේ සරණ ගිය බවත්, අද පටන් උපාසක වූ බවත් නුඹවහන්සේට මා කප්පියකාර වූ බවත්, දැන වදාළ මැනව. අද පටන් මාගේ මේ තුන්සියක් යොදුන් අඟුමගධ දෙරට හා රජගහා නුවර මෙ හැම රජ සැපත තුනුරුවන් විෂයෙහි දානපරිත්‍යාගයට පූජාකෙළෙමි” යනාදීන් කිය කියා මා කළ වරද ක්‍ෂමා කළ මැනැවැ යි දොහොත මුදුනෙහි බැඳගෙන බුද්ධදර්ශනයට විෂය තාක් තැන් බුදුන්ට පිටි නොපෑ පසු බැස බැස ගොස් දර්ශනාවසානයෙහි සිට තුන් යලක් පසඟ පිහිටුවා වැඳලා ස්තුති කොට රජගෙට ගියෝ ය.

විජිතසේන නම් පසේ බුදුන්

රජ්ජුරුවන් ගිය කල බුදුහු මහණෙනි! මේ රජ ඉදින් පිතෘඝාත කර්‍මය නොකෙළේ වී නම් අද ම සෝවාන් වෙයි, පවිටු වූ මිත්‍රයන්ගේ සංසර්ග දෝෂයෙන් ඒ සා සැපතක් නොලදුයේ ය. එතෙකුදු වුවත් අද මා කරා එළඹ මා කෙරෙහි ප්‍රීති උපදවා තුනුරුවන් සරණ පිහිටියේ ය. ඒ පිනින් යම් සේ රාජද්‍රෝහ කළ පුරුෂයෙක් උල අන්නා වරද ඇතිවත්, රජහුගේ ප්‍රසාදයෙන් මස්සක් පමණ දඩ දී ඒ ද්‍රෝහයෙන් ගැලවේ ද, එ සෙයින් ම මෙ රජත් අවීචි මහා නරකයෙහි නො වැටී මඳ පවු කළවුන් හෙන ලෝකුඹු නරකයෙහි වැටී තිස් දහසක් හවුරුද්දෙන් සැළ පත්ලට බැස තිස් දහසක් හවුරුද්දෙන් සැළ මුවවිටට නැඟී එයින් ගැලවී දැන් කළ සත්කාර බලයෙන් කප්ලක්‍ෂයක් දිව්‍යලොක මනුෂ්‍යලොක සම්පත් විඳ මතු විජිතසේන නම් පසේ බුදු ව සසරින් ගැළවෙන්නේ වේ දැ”යි වදාළ සේක.

ලොවුතුරා බුදුන් උපදනා කපෙක මුත් පසේබුදුන් චක්‍රවර්ති රජුන් නො උපදනා හෙයින් “මේ අජාසත් රජ්ජුරුවන් දේවදත්තයන් සුමන නම් මාලාකාරයන් බුදුන් මුහුණ සතුටින් බැලූ බකමුහුණා ආදි වූ සතුන් කප්ලක්‍ෂයකින් මත්තෙහි පසේබුදු වෙති යි බුදුන් ම වදාළ හෙයින් එ කප ලොවුතුරා බුදුකෙනකුන් ඉපදීමට කාරණ යයි එකාන්තයෙන් දතයුතු.

ඒ අජාසත් රජ්ජුරුවෝ පියරජහු මැරූතැන් පටන් ගෙන රෑ දාවල් නින්දක් නො ලබන්නාහු බුදුන් අතින් බණ අසා උපන් සන්තෝෂයෙහි පටන් ගෙන සුවසේ ම නිඳි ලබන්නාහ. දිවි පමණින් තුනුරුවන් අරභයා බොහෝ ධන පරිත්‍යාග කොට මහත් වූ පූජා කළාහුය. පෙර බුදුන් මරවන්ට සහාය ව ඇවිදි රජ බුදුන් දුටු තැන් පටන් “බුදුහු පිරිනිවන් පෑසේකැයි යන බසක් පමණ ඉදින් ඇසී නම්, මේ රජ ද, එ බස හා සමඟ බුදුන් කෙරෙහි ප්‍රේම ධරාගත නොහී ඒකාන්තයෙන් මියන්නේ ම ය”යි ලෝවැසියන් ලවා සිතවාපී ය. මේ බුදුසස්නෙහි පෘථග්ජන සැඳෑ ලදුවන් කෙරෙන් මේ රජහට වඩා බුදුන් කෙරේ ප්‍රේම ඇතියෙක්, මොහුට වඩා බුදුන් නො දැක නො වහනුයෙක්, අනික් කිසි තැනෙකත් නැත්ම ය. මෙසේ ‘දිවි යේ නමුත් තුනුරුවන් සරණ නො හරිමි’ යි බුදුන් පෙරට ව සිට එ රජහු කී හෙයින් තමාගේ ජීවිතය බුදුන්ට පිදුවා නම.

මෙසේ වැදූ පියන් මරා පියන තරම් යක්‍ෂයන් සේ දැඩි වූ, දරුණු වූ, අජාසත් රජහු වැන්නවුන් එක වචන මාත්‍රාවෙන් දමා බණ වදාරා, එ කෙණෙහි ඔහුගෙන් ජීවිත පූජා ලත් හෙයිනුත්, ඔහු දිවි පමණින් අප්‍රමාණ ධනයෙන් කරන ලද අප්‍රමාණ පූජා ලත් හෙයිනුත්, මෙසේ මෙසේ වූ, අද්භූත වූ, පූජා විඳීමට සුදුසු හෙයිනුත්, දිව්‍ය – බ්‍රහ්ම - නරේන්‍ද්‍රයන්ගේ මුදුනෙහි කෙළනා ශ්‍රී පාද ඇති මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:-

“පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං–යි.

මේ පූජාවලියෙහි ජීවකාරාමයෙහිදී අප බුදුන්ට අජාසත් රජුගෙන් ලද

ජීවිතාදී පූජා කථා නම් වූ තිස් වන පරිච්ඡෙදය නිමි.

31. ප්‍රාතිහාර්‍ය්‍යාදි ප්‍රතිපත්ති පූජා කථා

යශෝධරා දේවිය

තව ද: අප බුදුන් රජගහ නුවර දී යශොධරා මහාස්ථවිරීන්ගෙන් ලද ප්‍රාතිහාර්‍ය්‍යාදි ප්‍රතිපත්ති පූජා නම් කවර? යත්;

මේ එහි පිළිවෙළ කථාව ය, සත්පුරුෂ වූ ස්ත්‍රී පුරුෂයන් විසින් සාවධානව කන් නමා ඇසිය යුතු.

ඒ යශෝධරා දෙවී නම් අප බුදුන්ට සංසාරයෙහි දු ඔබගේ පාරමිතා නමැති මහලියයට උදකසේතුවක් සේ අනුබල ව ආ කෙනෙක, ඔහු තුමු මෙසේ සංසාරයෙහි දු ඔබ හා සමඟ අවුත් කෙළවර වෙස්සන්තර ජාතියෙහි දන් පැරුම් කුළුගන්වාලා ඔබ හා සමඟ ම ගොස් තුසීපුරයෙහි ඉපැද බොහෝ කලක් එක් ව දිව්‍ය සම්පත් විඳ සුදොවුන් රජාණන් නිසා මහාමායා දේවීන් කුස පිළිසිඳ ගත් වේලෙහි එම ඇසළ මැදි පොහෝ ලද උතුරුසළ නකතින් තුමු ද තුසී පුරයෙන් සැව අවුත් කෝළිය නුවර මහාමායා දේවීන් බැහැනන් සුප්‍රබුද්ධ රජ්ජුරුවන් නිසා, සුදොවුන් රජාණන් නැගණියන් අමිතා නම් බිසොවුන් කුස පිළිසිඳ බුදුන් හා සමයේ ම දෙතිස් මහා පූර්‍වනිමිත්ත නම් අද්භූත වූ ප්‍රතිසන්ධි පූජාවන් ලදින්, ඔබ සේ ම ගබපෙරහර මඟුල් ලදින්, බුදුන් උපන් වෛශාඛ යෝගයෙන් ම එම විගස තුමූ ද මවුකුසින් බිහි ව බුදුන් සේ ම ප්‍රසව මංගල පූජා ලදහ.

එකල ශුද්ධෝදන රජ්ජුරුවෝ කාළදෙවල නමස්කාරයෙහි පුතණුවන් වහන්සේ බුදු හෝ සක්විති රජ හෝ වන මහ පින් ඇති බවු දැන “ම පුතණුවන් හා එක වේලෙහි උපන් පින්වත් කෙනෙක් කවුරුදෝ හෝ”යි පරීක්‍ෂා කරන්නාහු, ඒ එක දඹදිව තබා අනන්තාපරියන්ත වූ සක්වළ දිව්‍යලොක මනුෂ්‍යලොකවල ද බුදුන් හා එක වේලෙහි ප්‍රතිසන්‍ධියක් වේව යි, උත්පත්තියක් වේව යි, චුත වීමක් වේව යි, නො වනු එකාන්ත ධර්‍මතාවක් බැවින් අනික් කිසි සත්ත්‍ව කෙනෙකුන් නොදැක තමන් නැඟණියන් දියණි කෙනෙකුන් එ විගස ම ලදහ යි අසා ඉතා විස්මය පත් ව “එකාන්තයෙන් ම පුතණුවෝ මහ පින්වත්හ. උන් හා එකවේලෙහි උපන් ස්ත්‍රියක නම් උන් නිසා ම උපන මැනැව, මට යෙහෙලි ව උපන් හෙයිනු දු ම පුතණුවන්ට ම භාර වන භාර්‍ය්‍යාවක ම වුව මැනැව, එසේ හෙයින් එසේ මෙසේ ස්වල්ප එකක නො වූව මැනැව, ම පුතණුවන් හා සම සම ම පින් රැස්කොට ආ මහ පින්වතක වුව මැනැවැ”යි යෙහෙළණියන් කෙරෙහි මහ පෙම් බැඳ බුදුන්ට කිරිමවුන් තෝරන සමයෙහි ඔවුන්ට ද උතුම් උතුම් වූ කිරිමවුන් තෝරා යවා එ තැන් පටන් සියලු මඟුල් ම බුදුන් සමසමයෙහි එකි එකී වේලෙහි ම කරවා යෙහෙළණියනු දු මහ පෙරහරින් වැඩූහ.

එ කල ඔහු බිම්බරූපයක් බඳු වූ රූප ශ්‍රී ඇති වූහ. එසේ හෙයින් බිම්බා නම් ලදහ, තමන් උපන් ගෙයි පහන් නො නංවන තරම් දිව්‍ය සමාන ශරීර ප්‍රභා ඇතියහ., පඤ්චකල්‍යාණයෙන් කල්‍යාණ වූ රූපශ්‍රී ඇතියහ. බුදුන්ට අනුවූ ලක්‍ෂණ සම්පත් ඇතියහ. මුළු දඹදිව් තෙලෙහි ඔවුන්ට වඩනා ස්ත්‍රීරත්නයෙක් නැත. මෙසේ බෝසතුනු දු, ඔවුනු දු, සොළොස් ඇවිරිදි වයස් වූ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ “ම පුතණුවන් කාමබන්‍ධනයෙන් බැඳ තපසට යා නො දෙමි යි, සක්විති රජ කරවමියි ම යෙහෙළි එ කල ස්ත්‍රීරත්න වන්නී ය”යි කියා මහත් වූ මඟුල් කොට බිම්බා දෙවීන් සරණ පාවා දී බෝසතුන් හා දෙදෙනා ම එක වේලෙහි ම ඔටුනු පලඳවා අභිෂේක කොට රාජ්‍යය පුරුදු කැරවූහ. එ තැන් පටන් ඔහු සයානූලක්‍ෂයක් ස්ත්‍රීසේනාවට අධිපතිව, බෝසතුන්ට අගමෙහෙසි ව මන වඩා වැස පද්මයට පැමිණි ශ්‍රීකාන්තාව සේ ශ්‍රීසම්පත් වුන්හ.

පසු ව තමනු දු, බෝසතුනු දු, එකුන් තිස් හැවිරිදි වූ කල මහත් වූ යශ පිරිවර දරන හෙයින් යශෝධරා දේවි ය යි දඹදිව දෙවන නමින් ප්‍රසිද්ධ වූ කල රාහුල නම් පුතණුවන් වහන්සේ තමන් වැදු දවස් යට කී ක්‍රමයෙන් බුදුන් මහභිනික්මන් කොට අනෝමා නම් ගංතෙර දී පැවිදි වූ දවස් ම තුමූ ද “ඔබ හළ සැපත් හැර මම ද වල් ගොස් තපස් කෙරෙමි”යි උත්සාහ කළහ. එ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ යෙහෙළණියන් කෙරෙහි මහත් වූ අනුකම්පායෙනු දු පුතණුවන් වහන්සේ දෙවනු ව රාජ්‍යයට ගෙන්වා ගනිමියි යන සිතිනුදු යෙහෙළණියන් තපසට යා නොදී, උනුදු තමන්ට සොරා ම පලා යෙති යි බෝසතුන්ට කළා සේ ම නුවර සිසාරා යොදනක් මානයෙහි සන්නාහයකින් වැසුවා සේ, ඇත් අස් රථ දුනුවායන් සිටුවා රකවල් ලවා නුවර සේ ම කැරවූහ. ස්ත්‍රියකට මේ සා තරයේ රකවල් ලවන්ට කාරණ කිම? යත්; අනික් කාරණයකුදු ඇත; යශෝධරාවෝ නම් දඹදිවු තෙලෙහි අග්‍ර වූ රූ සම්පත්ති ඇතියහ, එසේ හෙයින් ම පුතණුවන් තපසට ගිය බවු අසා දඹදිව බොහෝ රජදරුවෝ ඔවුන් ප්‍රාර්ථනා කරන්නාහු බලයෙන් ගෙන යම්හයි ඉදින් ආ කෙනෙක් ඇත් නමුත් කුමකින් කුමක් වේ දෝ හෝ’ යි සැක සිත් ඇති ව රකවල් ලැවුහ යි දතයුතු.

එ කල යශෝධරා දේවී “මා තපසට යා නො දෙන පසු උන් වහන්සේ මහණ ධර්‍ම පිරීමෙන් විඳිනා යම් ම දුකෙක් ඇත් නමුත් මම මේ රජගෙයි දී ම දුක් විඳ, ඔබට ම පක්‍ෂපාත කම් කෙරෙමි” යි සිතා මිනිසුන් යවා බුදුන් දවස් යවන ලෙස් නියම දන්නාහු ඔබ ඉසකේ කැපූ බවු, මහණ වූ බවු, පිඬු සිඟා ජීවත් වන ලෙස්, මත්තිකා භාජනයෙන් අනුභව කරන ලෙස්, එක් වේලේ වළඳන ලෙස්, උසසුන් මහඅස්නේ නො සැතපෙන ලෙස් ද අසා උපන් මහත් වූ කම්පා ඇති ව “එක රජගෙයි බොහෝ දවසක් ශ්‍රී සම්පත් විඳ උන් වහන්සේ ඒ හැර දැන් මේ සා දුකක් විඳින්නේ මතු වන වැඩක් උදෙසා ම ය, ඔබට මතු වන වැඩක් මට ද වී නම් යෙහෙකැ” යි කියා තුමු ද කෙස් වැටිය කපා හැර කාෂාවස්ත්‍ර ධරා, මැටි පාත්‍රයෙන් කා එක්වේලේ සයින් හෙව උසසුන් මහ අස්නේ නො සැතපී නිවාසනවල ම සැතපී, බුදුන් දක්නා සත් අවුරුද්ද මුළුල්ලෙහි, තුමූ ද නො එක් ව්‍යසන ගෙන ඔබට අනු වූ ගුණයෙන් ප්‍රතිපත්ති පූජා කළහ. පසු ව බුදුන් ලොවුතුරා බුදු ව, යට කී ක්‍රමයෙන් පළමු වන ගමනෙහි බන්ධු සංග්‍රහය නිසා කිඹුල්වත් නුවර වැඩි දෙවන දවස් වළඳා අන්තයෙහි තමන්ගේ රජගෙට වැඩ තමන් ඔබගේ ශ්‍රීපාද ගොප්මස දක්වා අල්වා මහ හඬින් හඬා එකත් පස් ව හුන් වේලෙහි පියමහරජ්ජුරුවට උපන් සැක හා තමන්ට උපන් භය සන්හිඳුවනු සඳහා චන්‍දකින්නර ජාතකයෙන් බණ වදාරා;

උපකාරී ච යා නාරී – සමානා ච සුඛෙ දුඛෙ

අත්‍ථක්ඛායී ච යා නාරී – සුන්දරී චානුකම්පිකා,

එවං ධම්මෙ සුචිණ්ණානං – සදා සද්ධම්මචාරිනං

ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හි ච-”යි.

යනාදීන් මුව නො පොහොනා සේ බුදුන් තමන්ගේ ගුණ වදාරා එක්ලක්‍ෂ සැටදහසක් බන්ධුසේනාව සාධුකාර දෙවාපු දවස් තුමුද මහත් වූ සන්තෝෂයෙන් පිනා එ දවසු දු මහණ වනු කැමැති වූහ. භික්ෂූණී ශාසනයට ඔබ පළමුව මහණ නො කළමනා හෙයිනුත්, ඒ ස්ථානාන්තරය කුඩා මෑණියන් වහන්සේ ලදමනා හෙයිනුත් බුදුහු නො ඉවසා වදාළ සේක. මයිල් රජ්ජුරුවෝ ද නැවතූහ. පසු ව සත්වන දවස් රාහුල නම් පුතණුවන් වහන්සේ සර්වාභරණයෙන් සරහා නරසීහ ගාථා උගන්වා “තොප පියාණන් වහන්සේ අතින් පුතණ්ඩ! දායාද සම්පත් ඉල්වා ගන්ව”යි බුදුන් සිඟා වඩනා රාජවිථියට යවු දවස් “බුදුන් වෙහෙරට ගෙන ගොස් ඔබ මහණ කරවා ගත්හ” යි අසා උපන් මහත් වූ දරු සනායෙන් සෝදුක් ඉවසා ගත නොහී “හෙ බැවින් ම පුතණුවනු දු මට නොදී උදුරා ම ගත් බැවින් මම ද ගිහිගෙයි නොවෙසෙමි, මහණවෙමි”යි සාහසික වූහ.

එ බව් අසා මයිල් රජ්ජුරුවෝ යෙහෙලණියන්ගේ රජගෙට ගොස් “යෙහෙළිනි! එ දවස් වදාළ වෙස්සන්තර ජාතකයෙහි තොප වැදූ දරුවන් බමුණාට බැඳ දුන් කල පවා තොප ඉවසූ ලෙස් නො ඇසු ද, තොප එ දවස් මෙම ගෙයි දී වදාළ බණෙහි තොප වැදූ දරුවන් ම යාචකයන්ට බැඳ දුන් වැල් පමණක් රැස් කරතොත් මෙර පරයා සිටිනා ලෙස් නො ඇසූ ද? කිසි කලෙකත් තොප දොම්නසක් නුවූහ යි වදාළ බස් නො ඇසූ ද, දැන් උන්වහන්සේ ලොවුතුරා බුදු ව මා ඇතුළු වූ මුළු ලෝවාසීන් දරුකොට ගත් සමයෙහි තමන්වහන්සේ ම වදා ගත්, තමන් වහන්සේගේ ම, පුතණුවන් මහණ කරවා ගතුයේ කවර වරදෙකැයි කියමෝ ද, උන් මහණ කැරවූහ යි අසා මම ඔබට කිපී ගොස් ඔබ අතින් බණ අසා උපන් සන්තෝෂයෙන්, යෙහෙළිය තොප අනික් දරු කෙනෙකුන් නො වැදූ හෙයින් මිස, මාගේ එ වැනි අනික් මුණුබුරු රුවනක් නැතිහෙයින් මිස, උනු දු ඔබ කෙරෙහි මහණ කරවා පියනු කැමැති වීමි, අද තෙපිද ඔබ අතින් බණ ඇසූ නම් එ පුතණුවන් තබා අනික් පුතණු කෙනෙකුන් මා නො ලද සේ ය යි සිතවු ම ය. පෙර බොහෝ දරුවන් ඔබට වදා දී, බොහෝ දරුවන් දන් දෙවාපු තැනැත්තන් දැන් එක පුතණුවන් නිවන් සුව විඳිනට තමන්වහන්සේ කරා හයා ගත්හ යි තොප දොම්නස් වන සේ, සෝක කරන සේ, ඉතා නො යෙදෙයි, ඒ තොප වැනියන්ට සුදුස්සෙක් නො වෙයි, බුදුහු තොප පුතණුවන්ට උතුම් වූ වැඩක් ම කළහ, දැන් තොප පුතණුවන් සුන්‍දර වූ මහණ වෙසක් ගෙන පියාණන් වහන්සේ ළඟ සඳට අනු වූ නකත් තරුවක් සේ සිටිනා ලෙස් දුටු නම් මේ ලෝකයෙහි දරු ලදුවානට අනික් එ බඳු සතුටෙක් නැත. මෙතැන්හි දී යෙහෙළි තෙපි මහණ වූ නම් තොපගේ සැදැහැයෙක් නො පැනෙයි, තොප දරු ශෝකයෙන් මහණ වූවා සේ ලෝවැසියෝ තොප හෙළා දක්නාහ, මේ ආදී කාරණයෙන් මෙ තැන්හි මහණ නො වව”යි කියා නො එක් කාරණයෙන් ගිවිස්සා රැඳවූහ.

පසුව ඒ මයිල් රජ්ජුරුවන් දළපුඩු සේසතින් යුක්ත වූ යහනෙහි වැදහෙව අමාමහ නිවන් දැක පිරිනිවන් පෑ සමයෙහි “මෙවිට මහණ වෙමි”යි උත්සාහ කළහ. එ කල මහාප්‍රජාපති ගොතමී නම් වූ නැන්දනියන් වහන්සේ “ පුතණ්ඩ! මා වැනි මවුන් පවා තුන්වාරයක් යාච්ඤා කොටත් ස්ත්‍රීන්ට පැවිදි නුදුන් සේක, තොප බුදුන් බුදු වූ කල් තබා, ඔබ ගිහිගෙයි වසන කල පවා, තොප අග මෙහෙසින්ව වැස ඔබ කෙරෙහි ඉතා වල්ලභ සමයෙහි පවා ඔබ පෙරට සිට භය ලජ්ජාවෙන් පුරා බස් දෙකකුත් කියා ගත නො හෙව, දැන් ඔබ අතින් පැවිදි ඉල්වා ගැන්ම තොප වැනියන්ට බැරි ය, තව ද මම් ම ගොස් පැවිදි ඉල්වා බලමි, පැවිදි ලදිම් නම් මා මහණ වූ දවසෙක තෙපි මහණ වව” යි නැවතූ දෑ ය. මහාප්‍රජාපතී ගෝතමීන් වහන්සේ යට කී ක්‍රමයෙන් බුදුන් කරා ගොස් මෙහෙණි සස්න අනුදන්වා ගෙන මහණ ව අමාමහ නිවන් දැක බුදුසසුන් හොබවා විශාලා මහනුවර වැස ලෝවැඩ සසුන් වැඩ කරන සේක.

එ කලට බුදුන්ගේ පිරිවර හා තුන්පාය හා නළුපිරිස් ඇතුළු වූ සියලු රජසැපත ය, මහාමායා දේවීන් වහන්සේගේ සියලු ඓශ්වර්‍ය්‍ය සම්පත ය, සුද්ධෝදන රජ්ජුරුවන්ගේ සියලු ඓශ්වර්ර්‍ය්‍ය හා රාජ්‍ය සම්පත්තිය ය, නන්‍ද රාහුල දෙදෙනාට හිමි ව තුබු සැපත ය, දෙවිදත් කුමාරයන් තමන්ගේ බැහැනන් හැරපියා ගිය ලක්‍ෂගණන් පරිවාර ජනයන් හා රජ සැපත ය, පියාණන් සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ සියලු සම්පත්ති ය, මහා ප්‍රජාපතී ගෝතමින් වහන්සේගේ සියලු ඓශ්වර්යය හා සියලු සම්පත්තිය ය, යන මේ සියලු පරිවාර ජනයන් හා සියලු සම්පත් මහ මුහුදට වදනා ගංගාප්‍රවාහයක් සේ ඒ යශෝධරා දේවීන්වහන්සේ කරා පැමිණියේ ය. මහ මේරුව ගලා සිටිනා මහාසමුද්‍රය සේ ඒ සා මහත් සම්පත්තිභාරයක් උසුලන්නාහු, ඒ සා සැපත් තමන් ග්‍රීවයෙහි බැඳි අහිකුණපයක් කොටත් නොසිතා පඞ්කයෙන් ඉපැද පඞ්කයෙහි අමිශ්‍ර වූ පදුමරාජයක්හු සේ, දියෙහි තිබී දිය හා එක් නො වන පියුම්පතක් සේ, තුමූ ද සම්පත් හා එක් නොව ලෝභය අහසට පොළොව සේ, දුරින් දුරු කොට බුදුන් හා වියෝගශෝකය හා පුතණුවන් වහන්සේ එක්වන් නො දක්නා ශෝකය හා මේ දෙ ශෝක භාරය පමණක් ධරාගත නො හී “සත්හැවිරිදි ම පුතණුවන් රහල්කුමරුවන් වැනියන් බුදුන් කරා ගොස් දැන් මහණ දම් පුරන කල එකලා වූ මා වැනියන්ට මේ සම්පත්තියෙන් කම් නැත, එතෙකින් ගොස් මම ද මහණ වෙම් ම ය”යි අධිෂ්ඨාන කොට බෝසතාණන් කෙරෙහි ඉතා වල්ලභ වූ දහසක් පමණ බිසෝවරුනු දු ගිවිස්වා ගෙන ඒ දහසක් ස්ත්‍රීනු දු පිරිවරා කිඹුල්වත් පුරයෙන් නික්මුණු දෑය.

එකෙණෙහි ශාක්‍ය කෝලිය දෙනුවර වැසි හිඟුම් ගත් දෙමුහුදක් සේ හැළල දෙනුවර වාසීහු පෙරමඟට අවුත් නො එක් ප්‍රකාරයෙන් යාච්ඥා කොට රඳවාගත නොහී “දේවීනි! නුඹ එකාන්තයෙන් නොරඳන බැවින් බුදුරජාණන් වහන්සේ පවා අශ්ව යානාවෙන් මහභිනික්මන් කළ සේක. නුඹවහන්සේ ද තෙල කෝමල වූ ශ්‍රීපාදයට දුක් නො දී යානා නැඟී වැඩිය මැනැවැ”යි කිය කියා හිරි මඬුලු සඳමඬුලු සේ රන් රිදී කර්‍මාන්තයෙන් දිලියෙන රථ දහසක් ගෙන අවුදින් පෙරමඟ පිළිවෙළින් තබා “අපගේ රථයෙන් වැඩිය මැනැව, අපගේ රථයෙන් වැඩිය මැනැවැ”යි ආරාධනා කළ හ.

එ කල උන්වහන්සේ දහසක් බිසෝවරුන් බලා “නඟිනි! අප ඓශ්වර්‍ය්‍ය සම්පත් හැර පැවිදි වන්නට යනුවන් රථ නැඟී අලඞ්කාර පිටින් යාම තපසට අංග නො වෙයි. අප බුදුහු රාජ්‍යවාසීන්ට සොරා යන හෙයින් මහණ වන දවස් අශ්වයානාවෙන් සැඟවී වැඩිසේක. එසේත් අනෝමා නම් ගංතෙර දී අසුපිටින් බට තැන් පටන් සහවුරුද්දක් මුළුල්ලෙහි පාදව්‍යසනයෙන් මැ ඇවිද දැන් තුන්ලෝ මුදුන් වූ සේක, එසේ ම අපිදු පයින් ම යම්හ” යි කියා රථ නොනැඟී ඔවුන් දහසක් දෙනා පිරිවරා මහත් වූ වීර්‍ය්‍යයෙන් එක් පනස් යොදුන් මඟ ගෙවා ගොස් විශාලා මහනුවර වැද මහාප්‍රජාපතී ගෝතමීන් වහන්සේ දැක ආ පවත් කියා උන්වහන්සේ කෙරේ මහණ ව ගෙන උභතෝසංඝයා කෙරෙහි උපසම්පදාව ලදමනා හෙයින් තමන් වහන්සේගේ දහසක් භික්ෂුණීනු දු අවශේෂ වූ බොහෝ ශ්‍රාවිකාවනු දු ගෙන “බුදුන්ගේ අදහස් කුමක් බවුත් නො දනිමි. මා කැඳවාගෙන ගොස් බුදුන් හා ම පුතණුවන් මට දක්වා වදාළ මැනැවැ”යි මහාප්‍රජාපතී ස්ථවිරීන් වහන්සේට කියා ඔබ කැඳවා ගෙන සැවැත් නුවර බලා නික්මුණු සේක. එ තෙපුල් ඇසූ දඹදිව නො එක් ශ්‍රද්ධාවන්තයෝ මල් සුවඳ ධ්වජපතාකාදී නො එක් පූජාභාණ්ඩ ගෙන ඔවුනොවුන් පරයා දිව දිව දවසින් දවස මහත් වූ සත්කාර කෙරෙමින් යොදනින් යොදනෙහි සතපමින් ගමින් ගම මහ දන් වතුරු කෙරෙමින් වඩාගෙන යන්නාහ.

යශෝධරා දේවියගේ පැවිද්ද

එ කල මහා ප්‍රජාපති ස්ථවීරීන් වහන්සේ ඔබ කැඳවා ගෙන ගොස් බුදුන් දක්වා ඔබ ආ ලෙස්, මහණවූ ලෙස් බුදුන්ට දැන් වූ සේක. එ කල රාහුලමාතාවන් වහන්සේ ද බුදුන් වැඳ එකත්පස්ව හුන්සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ ඔබගේ වීර්‍ය්‍ය වඩනා සේ, ඔබගේ නො එක් ගුණ සමූහයන් මුඛ නො පොහොනා සේ වදාරා, උභතො සංඝයා කෙරෙහි උපසම්පදා කරවා ඔබට සුදුසු කර්‍මස්ථාන උගන්වා “රාහුල මාතාවෙනි! බුද්ධෝත්පාද දුර්ලභ ය, ක්‍ෂණසම්පත්තිය දුර්ලභය, බුද්ධ දර්ශන දුර්ලභ ය, මනුෂ්‍යත්මභාවය දුර්ලභ ය, ප්‍රව්‍රජ්‍යා දුර්ලභ ය, සද්ධර්‍ම ශ්‍රවණ දුර්ලභ ය, අප්‍රමත්ත ව ත්‍රිවිධ වූ ශික්‍ෂාවන් සම්පාදනය කරව”යි යනාදි වසයෙන් අවවාද කොට දුන් සේක. එ කල උන් වහන්සේ විදර්ශනා වඩා දෙපෝයක් ඇතුළත රහත් ව විශාඛාදි ශ්‍රද්ධාවන්තයන් විසින් කරවා පිළිගන්වන ලද මෙහෙණවරෙක වාසය කරන සේක.

එ කල එක් වේලෙක ගොස් බුදුන් දැක වැඳ බණ අසා එන සේක. එක් වේලෙක ගොස් පුතණුවන් වහන්සේ විචාරා එන සේක. සමහර දවසෙක රාහුල සාමණේරයන් වහන්සේ ගොස් මෑණියන් වහන්සේගේ සුවදුක් විචාරා එන සේක. එ කල උන්වහන්සේ මහණ වූ පවත් අසා දඹදිව බොහෝ ශ්‍රද්ධාවන්ත වූ රජ බමුණු වෙළෙඳ ගොවි ස්ත්‍රී පුරුෂයෝ සියගණන් ගැල් පුරා නො එක් දානෝපකරණ ගෙන මහමුහුදට වදනා ගංගා සමූහයන් සේ, මුළු මුළු ව අවුත් සැවැත් නුවර වැද උන්වහන්සේට මහත් වූ දන් වතුරු කෙරෙමින් බුදුන් සඟුන් වැඳ, නො එක් පින් රැස්කොට යන්නාහ. එකල උන්වහන්සේ බුදු සස්නෙහි ලාභයෙන් යශසින් ඉතා අග්‍ර වූසේක. කොසොල් රජ්ජුරුවන් ආදි වූ ශ්‍රද්ධාවන්තයන් ඔබට කරනලද සත්කාර අභ්‍යන්තර ජාතක-සුපත්ත ජාතක නිදානාදියෙහි මෙන් පමණ නැතියේය.

එ කල උන්වහන්සේ බුදුන් වැඳ ““ස්වාමීනි! ගෘහවාසයෙහි බොහෝ සම්පත්නා පිරිවර හැර විවේක වාසය නිසා මහණවීමි. දැන් මා මහණ වූ දවස් පටන් මට උපදනා ලාභයෙන් හා සත්කාරයෝ අපමණ වන්නාහ. මට සත්කාර නිසා රැස් වන්නා වූ ශ්‍රද්ධාවන්තයන්ගෙන් මාගේ වෙහෙර පෙර රජගෙයි මිදුල සේ ම අතුරු නැතියේ ය. එසේ හෙයින් මෙ නුවර මට සත්කාර බෙහෙව. අනික් නුවරකට යෙමි”යි බුදුන් අතින් සමු ගෙන නැවත විශාලා මහ නුවර ගොස් මහාප්‍රජාපති ගෝතමින් වහන්සේ සමීපයෙහි වාසයට පටන් ගත් දෑ ය.

ඔබ එ නුවර වැඩි බව් අසා එ නුවර වසන සත්දහස් සත්සිය සත් ලිච්ඡවී රජුන් හා සත්දහස් සත්සිය සත් අගබිසෝවරුන් හා අනගි වූ මෙහෙණවරක් කරවා ඔබට පිළිගන්වා දවස තුන්වාරයක් වෙහෙරට එළඹ බුදුන් දුටුවා සේ පෙර කලට දිවුණ දිවුණා මහත්වූ සත්කාර කෙරෙති, ඔබ ම උදෙසා එ නුවර දී දහස්ගණන් ස්ත්‍රීහු පැවිදි ව සසරින් ගැළවුණාහ. දඹදිව වාසි එ නුවරට රැස් ව පෙර සේ ම සත්කාරයට පටන් ගත්හ. එ නුවර කලක් වැස එහි දු සත්කාර බෙහෙවැයි හැර රජගහා නුවර ගොස් එහි දු මෙහෙණ වරෙක වසන සේක. එ කල එ නුවර වැඩි බවු අසා එ නුවර අටළොස් කෙළක් මනුෂ්‍යයෝ ය, තුන්සියක් යොදුන් අඟු මගධ දෙරට වාසී ය, අසූදහසක් නියම්ගම්වාසී ය, අමිතභොගී ය යි යනාදී සත්ත්‍වයෝ ඔවුනොවුන් පරයා අවුත් බුදුන් දුටුවා සේ වඳින්නාහ. පුදන්නාහ. නො එක් සත්කාර කරන්නාහ. දවසින් දවස උත්සව මඟුල් කරන්නා සේ පෙර දෙනුවරටත් වඩා දිවුණ දිවුණා සත්කාර කළහ, මහත් වූ දාන පූජා කළහ. මෙසේ උන්වහන්සේ ලාභයෙන් යශසින් පිනින් අග පැමිණිසේක. මහමුහුද රළපෙළ දිවන්නා සේ නො එක් ප්‍රත්‍යදානය ඔබ කරා ම පැමිණේමය. එහි විපාක නම් බෝසතුන් සප්තශතකාදි මහදන් දෙන සමයෙහි තමන් වහන්සේ ද මසුරු සිතක් නො සිතා කිරි වත්කළ සක ඒකවර්ණ වූවා සේ ඔබ හා එක්සිත ව පූරණය කළාවූ දානපරිත්‍යාග මහිමයෙන් උපන් මහ පින්බල ය යි දතයුතු. එයින් කීහ. අපදානයෙහි:

පුබ්බකම්මස්ස සුකතස්ස - තස්ස චිත්තං පසාදයං,

දෙව මානුසකං භොගං - අනුභොත්‍වා අසංඛියා,

.

අනුභවිත්‍වා සුඛං දුක්ඛං - දෙවෙසු මානුසෙසු ච,

පච්ඡිමෙ ච භවෙ පත්තෙ - අජායිං සාකියෙ කුලෙ,

.

රූපවතී භොගවතී - යස සීලවතී තතො,

සබ්බඞ්ගසම්පදා හොමි - කුලෙසු අතිසක්කතා,

.

ලාභං සිලොකං සක්කාරං - ලොකධම්ම සමාගමං,

චිත්තඤ්ච දුක්ඛිතං නත්ථි - වසාමි අකුතො භයා,

.

නිබ්බින්‍දිත්‍වාන සංසාරෙ - පබ්බජිං අනගාරියං,

සහස්සපරිවාරෙන - පබ්බජිත්‍වා ආකිඤ්චනා,

.

අගාරං විජහිත්‍වාන - පබ්බජිං අනගාරියං,

අද්ධමාසෙ අසම්පත්තෙ - චතුසච්චං අපාපුණිං,

.

චීවරං පිණ්ඩපාතඤ්ච - පච්චයං සයනාසනං,

උපනෙන්ති බහූ’නෙකෙ - සාගරස්සෙව ඌමියො-යි.

මෙසේ තමන් වහන්සේට සංසාරයෙහි පක්‍ෂපාත කම් කළාවූ ස්ත්‍රීන්ට පවා මේ සා සත්කාරයක් දෙවාලු හෙයිනුත්, ඒ සත්කාර තමන් වහන්සේ ම ලදුවා නම් වන හෙයිනුත්, මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

මෙසේ රාහුල ස්වාමීන්ට මවු වූ හෙයින් රාහුල මාතාවෝ යයි බුදු සස්නෙහි ප්‍රසිද්ධ වූ ඒ යශෝධරා මහාස්ථවිරීන් වහන්සේ ලාභයෙන්, යශසින් අග්‍ර ව අමාමහ නිවන් දැක බුදුසසුන් නමැති සදත් විල්හි පියුමක් සේ බුදුසසුන් හොබවා ලෝවැඩ සසුන් වැඩ කොට එම රජගහා නුවර වාසය කරන කල, මාගේ ස්වාමිදරු වූ ශාක්‍ය සිංහ වූ ත්‍රිභූවන චූඩාමණි වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ලොවුතුරා බුදු වූ තෙසාළිස් වන අවුරුද්දෙහි සැවැත් නුවරින් වැඩ, අන්තොමණ්ඩල බාහිරමණ්ඩලාදී ගම් නියම්ගම් රාජධානිවල සැරිසරා ලෝවැඩ කොට ඇවිදිනා සේක් අනුක්‍රමයෙන් රජගහා නුවර වැඩ ගිජ්ඣකූට පර්වත ප්‍රාන්තයෙහි වූ එක්තරා එක් මනොහර ප්‍රාග්භාරයෙක වාසය කරන සේක.

යශෝධරා මෙහෙණ

එ කල යශෝධරා ස්ථවිරීන් වහන්සේ දහස් ගණන් භික්‍ෂුණී පිරිසක් පිරිවරා ගොස් බුදුන් දැක වැඳ එකත්පස්ව හිඳ බණ අසා ගොස් තමන් වහන්සේගේ මෙහෙණවර වැද පසුව දා පශ්චාද් භක්තයෙහි අර්ධ පර්‍ය්‍යංකයෙන් රහෝගත ව වැඩහිඳ මෙසේ සිතන සේක. නන්ද-රාහුල දෙදෙන ද, අගසවුවෝ දෙදෙන ද, අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙන ද, ශුද්ධොදන - මහාප්‍රජාපති දෙදෙන ද, අඤ්ඤා කොණ්ඩඤ්ඥා දී ප්‍රසිද්ධ වූ ස්ථවිරයෝ ද මෙවකට පිරිනිවන් පෑ නිවන් පුර ගියහ, මම වනාහි බුදුන් හා එක් වේලෙහි උපන්මි, ඔබ හා සම වූ වයස් ලදිමි, සම වූ මඟුල් ලදිමි. සම වූ අදහස් ලදිමි, සම වූ මහණ දම් ලදිමි. සම වූ නිවන් අමා ලදිමි. අනු වූ රූපශ්‍රී හා ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය ලදිමි. මේ මේ කාරණ හෙයින් බුදුන්ගේ පරිනිර්‍වාණය හා මාගේ පරිනිර්‍වාණය එක දවස් වන කාරණ ම ය. එසේ වූ කල ලෝකවාසීහු එක වේලෙහි ලොවට හානි දෙකක් දරාලිය නො හෙන්නාහු ය.

එසේ හෙයින් ඒ පරිනිර්‍වාණයන් දෙදෙනාගේ පසු පළමු භාවයක් වුවමනා ය. කල්පද්‍රැමයාගේ වියෝගයෙහි කල්ප ලතාවගේ විද්‍යාමානභාවය නොහොබනා සේ, කල්පලතාවගේ වියෝගයෙහි කල්පද්‍රැමයාගේ විද්‍යාමාන වීමෙහි තව ද අශෝභාවක් නැත්තා සේ, බුදුන්ගේ පරිනිර්‍වාණය මා වැනියන් දැකීම සුදුස්සෙක් නොවෙයි, තව ද මාගේ පරිනිර්‍වාණය බුදුන් දැකීම හොබනේ ම ය. පූර්‍වකාලයෙහි වූ අනන්තාපරින්ත වූ බුද්ධපතිව්‍රතාවරු ද ඒ ඒ බුදුන්ට පළමු ම පිරිනිවන් පෑහ, එසේ හෙයින් මා විසිනුත් පළමුව නිවන් පුර ගියමනා ම ය”යි සිතා “මෙවකට බුදුන්ට ද මට ද අට සැත්තෑවක් වයස් සම්පූර්ණ විය, මෙයින් දෑවුරුද්දක් ගිය කල අශීති වර්‍ෂයෙහි දී බුදුන්ගේ පරිනිර්‍වාණය වෙ”යි දැක මම ද දැන් ම ගොස් බුදුන් අතින් අවසර ඉල්වා ගෙන අද රෑ ම ශාන්ති පුරයට නික්මෙමි”යි මෙසේ සිතූ දෑ ය. එ කෙණෙහි මහිකත් ගුගුරා පැන නැඟී ය, ආකාශය මේඝනාදයෙන් කම්පිත විය, මහ මෙර කිළි පොළාපීය, සක්වලගල සක්වළල්ලක් සේ බමා ගිය.

මේ අද්භූතයෙහි මෙ කුමක් දෝ හෝ යි කම්පිත වූ සිත් ඇති ඔබගේ දහසක් පමණ මෙහෙණින්නෝ ඔබ කරා දිව අවුත් “ආර්‍ය්‍යාවෙනි! මේ කුමන පෙළහරෙක් ද”යි විචාළහ. එකල ඔබ වදාරන සේක් “භවත්නි! මා සිතූ සිතිවිල්ලක් නිසා ම වූ පෙළහරෙක, අද රෑ පිරිනිවන් පවීමි”යි සිතීමි. මා හා කැටිව එව, දැන් ම ගොස් බුදුන් දැක වැඳ අවසර ඉල්වා යෙමි, පාසිවුරු ගන්ව”යි කියා ඒ දහසක් මෙහෙණින්නන් පිරිවරා ගෙන තමන් වහන්සේ ද පාත්‍ර සිවුරු දරාගෙන වෙහෙරට අරක් ගත් දෙවියන්ට පින් දී ගෙන එ තෙපුල් අසා අවුත් පෙරමඟට රැස්වූ නො එක් ශ්‍රද්ධාවන්ත ස්ත්‍රී පුරුෂයන්ට ඔවා තෙපුල් දී ගෙන මහමුහුදට නිකුත් අමා ගඞ්ගාවක් සේ ගොස් බුදුන් වසන වෙහෙරට වැඩ බුදුන් දැක මෙර සිසාරා නිකුත් තරු පිරිවර සඳක් සේ තුන් යලක් පැදකුණු කොට බුදුන් පසඟ පිහිටුවා වැඳ සදත් රජුට අනු වූ සුභද්‍රා නම් කණෙරුකා ධෙනුව සේ බුදුන්ට එකත්පස් ව ඇඳිලි බැඳ හිඳ මෙසේ දන්වන සේක.

“ස්වාමීනි! සත්දවසෙකින් ලැබෙන සක්විති රාජ්‍යයක් හා, උනු නොවන සැපත් ඇති සතර මහානිධානයක් හා, කිඹුල්වත් නුවර වැනි දිව්‍ය සමාන පුරයක් හා සුදොවුන් රජාණන් වැනි පෙම්බර පියාණ කෙනෙකුන් හා, සතළිස් දහසක් ක්‍ෂත්‍රිය නාටක ජනයන් හා සයානූලක්‍ෂයක් ක්‍ෂත්‍රිය කන්‍යාවන්ට අධිපති වූ මා වැනි ක්‍ෂත්‍රිය කන්‍යාවක් හා, එක්වැනි රහල් තෙරුන් වැනි රූබර පුතණු කෙනකුන් හා, මේ සා සැපතෙහි තෘෂ්ණාවක් නැති ව නැඟු දළපුඩු සේසත් කෙළ පිඬු කොටත් නොබලා, එකලාවම ගොස් මහණ ව සාහවුරුද්දක් දුෂ්කරින් දවස් යවා, මහත් වූ වික්‍රමයෙන් පස්මරුන් බිඳ බුදු ව දැන් මේ සා නිවන් අමාවක් මුළු ලොවට බෙදා දී, මා ඇතුළු වූ සියලු සතුන් එක ආර්‍ය්‍ය කුසින් වදා, මුළු ලෝ වාසීන් නො වරදවා දරු කොට ගත් නිවන් හිමියාණෙනි! මා විසින් දන්වන තෙපුලක් අසා වදාළ මැනැව, දැන් මට අට සැත්තෑවක් වයස් ගිය, එසේ හෙයින් පබ්භාර දසකයට පැමිණියෙමි, ස්වාමිදරුවන්ට පළමු කොට ජරා - විලි - පිලි නොදැක නිවන් පුර යනු කැමැත්තෙමි, ඉනුදු අද රෑ ම සෙත්පුරයට පැමිණෙමි. ස්වාමිදරුවන් විසින් මට කළමනා වූ සංසාර රක්‍ෂාව කොට වදාරන ලද, මා විසිනුදු පිළිගන්නා ලද, එසේ හෙයින් මම ද සංසාර සාගරයෙන් ගොඩනැඟී සිත් සේ නිවන් මහ මියරට පැමිණියෙමි, එසේ ද වුවත් සියලු ආර්‍ය්‍යාවන් ම පරිනිර්‍වාණ දිනයෙහි අවුත් බුදුන් අතින් සමු ගැන්ම ද බුදුන් ක්‍ෂමා, කරගැන්ම ද, සාධාරණ ධර්‍ම වන බැවින් මම ද ස්වාමිදරුවන් ක්‍ෂමා කරවා ගෙන අවසර ලබනු කැමැත්තෙමි, සසර බොහෝ දවසක් ස්වාමිදරුවන්ට ඡායාවක්සේ සහවාසව අයිමි. ඒ ඒ තන්හි මා විසිනු දු පක්‍ෂපාත ව ම එකලද, එසේ ද වුවත් ස්ත්‍රී ජාතීහු නම් ඉතා ළාමක වූ ස්වල්ප වූ සිත් ඇතියහ, කිසියම් තෙනක අපරාධයක් පෙනෙයි; ඒ ඒ වරද ද නුවණැසින් බැලූ කල ස්වාමිදරුවන්ගේ පාරමිතාවට අනුබල වූ තැනෙක් ම ය, මා විසින් කළ දැඩිකමක් නිසාත් වැඩක් ම සාධා දින්මි.

“සෙසු කල් හැර මා දැඩිකම් කළැ යි යන කුසජාතකයෙහි ස්වාමිදරුවන් කුසරජ කල මා ප්‍රභාවති නම් ව, රූමදයෙන් මත් වූ සමයෙහි වෙස් වළා මා ඇඟට ඇත්බෙටි අස්බෙට් ගැසූ දවස් ඇතුපිට හිඳ හස්තවිකාර-මුඛ විකාරයෙන් මට උසුළු ගැන්වූ දවස් පවා නො එක් පරුෂවාක් බස් කියනුයෙම් නො හැඳින ම කීමි, අචේතන වූ කර්‍මයක් නැති හෙයින් එහි දු මා වරදක් නො දක්මි. මඟුල් පොකුණෙහි සැඟවී සිට “මම කුසරජ” ය යි පෙනී මා අත ගත් දවස් මෙ බඳු පුන්සඳකට නින්දා කරන ප්‍රසන්න වූ ශ්‍රී මුඛය පසේ බුදුන්ට ආක්‍රෝශයෙන් බැලූ නුඹවහන්සේගේ ම කිසියම් පාපයක් නිසා, අතිරස පූවක් සේ ඉතා අප්‍රසාද වූ හෙයින් බැලුවන්ට භයඞ්කර හෙයින් “රජක්හුගේ මෙ බඳු වූ මුඛයෙක් ඇද්දැයි එකාන්තයෙන් යක්‍ෂයෙක් ම යැ” යි සිතා එ දවසු දු යක්‍ෂයකුහට ම නින්දා කෙළෙමි, එසේ හෙයින් එ තැන්හි දු මා වරද නැත. එ දවස් මාගේ පිරිවර ගෙන කුසරජ්ජුරුවන් හැර ස්වේච්ඡාපර ව මාගේ සියනුවරට ගිය ගමන පෙර කළ ප්‍රාර්ථනාවක් නිසා ම වූ හෙයින් එ තැන්හි දු මා වරද නැත.

“තව ද: ඒ සත්මස මුළුල්ලෙහි ස්වාමිදරුවන් මාගේ නුවරට වන් දවස් පටන් මම ද යානෙක නො සැතපී බිම ම සැතපිනිමි. ස්වාමිදරුවන්ගේ ම අකුසල බෙලෙන් ඒ සා දුකකට පැමිණි බවක් මිස මා විසින් සැබවින් කළා වූ නිස්නෙහයක් නො වන නියාවට දවසින් දවස ගන්නා දුක් බල බලා අනුන්ට නො හඟවා ම මා අතුරෙහි හැඬු හඬ, එ දවස් මාගේ ගුණ පරීක්ෂා කරනු නිසා වසුන් කද කර තබාගෙන හිණිපාමුල හුණු හඬ අසා ලෙහි බඩැ අත් සපමින්, කඳුළු ධාරා වගුරමින් යහන් ගබඩාවෙන් මා දිවු දවස ම පක්‍ෂපාත කමට ම දෙස් කියා සිටීම ය. තවද: එ සත් මසෙහි ස්වාමීන් පිසූ බත් මා අනුභව කළෑ යි ස්ත්‍රීධර්‍මය වරදවා පීයැ යි සිතත් නමුත් දවසෙකත් ඔබ පිසූ බත් දිවගත් නො ගෑයෙම් ම ය, එ බත් කුදට දී කුදගේ වැටුප් සාලෙන් පිසූ නිවුඩුසාලේ දාසි භෝජනය ම අනුභව කෙළෙමි. එ කල මා අනුභව කළ භෝජනය සිතූ කල කුසරජ්ජුරුවන් අනුභව කළ වසුන් පල්ලෙහි දඹුකඩ භෝජනය තවත් රසවත් දෝ හෝ යි සිතමි. එසේ රූමදයෙන් මත් වූයෙම් පවා ස්වාමිදරුවන්ට මද අනාදරයක් නො කෙළෙමි, ඒ ඒ ජාතියෙහි ම විසින් කළාවූ කිසියම් අපරාධයක් ම නිසා මා පතන්නා වූ ස්වාමිදරුවන්ට මෑණියන් වහන්සේට පාවා දුන් රාජ්‍යදානාදියෙන් දාන පාරමිතාව සිද්ධ විය.

“ඒ ජාතියෙහි මාගේ පහස් ලත් තැන් පටන් මා කෙරෙහි කළ ප්‍රේමයෙන් අන්‍යස්ත්‍රියක ප්‍රාර්ථනා නොකොට රැකි පඤ්චශීලාදියෙන් ශීල පාරමිතාව සිද්ධ විය. මා ම පතා ඒ සා රාජ්‍යය හැර එකලාව ගිය ගමනින් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සිද්ධ විය. නො එක් කර්‍මාන්ත විශේෂයෙන් මා ම උදෙසා නිර්මිත කිරීමෙන් ප්‍රඥා පාරමිතාව සිද්ධ විය. රජසුඛුමාලව මා ම පතා එක දවස් සාරසියක් ගවු වැඩවදාළ ගමනින් හා සත්මස මුළුල්ලෙහි දිය දර ඇදීමෙන්, බඳුන් සේදීමෙන්, රෑ නිඳි මැරීමෙන්, තුන් වේලෙහි වසුන් පිසීමෙන්, වසුන් කත් ඇදීමෙන්, ගත් දුක් සමූහයෙන් ම වීර්‍ය්‍ය පාරමිතාව සිද්ධ විය. තවද: මුළු දඹදිවට අග රජ ව “බලාත්කාරයෙන් මෑ ගෙන්වා ගනිමි” යි නො සිතා මා කෙරෙහි ක්‍රෝධයක් නො කොට මා කී කළ රූක්‍ෂ වූ තෙපුල් ඉවසීමෙන් ක්ෂාන්ති පාරමිතාව සිද්ධ විය. “කුසරජ්ජුරුවෙනි! බොහෝ නිමිති දන්නෝ මා තොපට අඹු නො වෙති යි කීහ, මා පතා නම් ගලින් පැන් උණුවන්නා වැන්න, සුළං බදන්නා වැන්න, සඳට අත දිගු කරන්නා වැන්න, මා නො පතා තෙපි තොපගේ සිය නුවරට යව”යි එ දවස් මා සිතින් සිතීහස ඇති ව ද මායම් තෙපුල් කී කල “පුරුෂවීර්‍ය්‍යයක් ඇතියෙම් නම් තී මා අගමෙහෙසිනි කෙරෙමි යි තී හැර සියනුවර නොයම් ම ය”යි කීවාවූ සාහසික වචනය ම පසුව සබා කිරීමෙන් සත්‍ය පාරමිතාව සිද්ධ විය. එකවිට දැමු සක පසළොස් පැයක් භ්‍රමණය කිරීමෙන් අධිෂ්ඨාන බලයෙන් නො එක් විරහ කර්‍මාන්ත රූපයන් මට විනා සෙසු සත්ත්‍වයන්ට නොදැක්වීමෙන් ශක්‍රභවනය කම්පාකිරීමෙන් අධිෂ්ඨාන පාරමිතාව සිද්ධ විය. තමන් නො තරම් බවු නොදැන, බල නො දැන, මුළු දඹදිවට අගරජුන්ගේ අගබිසොවුන් පතා ආවා වූ සතුරු රජුන් සද්දෙනා උතුරුසළුවෙන් පිටිතල හයා බැඳ ගෙනවුත් දක්වාලු වේලෙහි ඔවුන්ට කෝපයක් නො කොට ජීවිතදානය දීමෙන්, ස්ත්‍රී ය දානදීමෙන් කළා වූ කරුණාවෙන් ම මෛත්‍රී පාරමිතාව සිද්ධ විය. ඒ සියලු තැන්හි ම අකම්පිත ව, මහමෙර සේ නිශ්චල ව, කොටගත්තාවූ අර්ථ සිද්ධියෙන් ම උපේක්ෂා පාරමිතාව සිද්ධ විය. තව ද: මා ම නිසා සතුරන් ජයගනිමි යි “අහංකුසො”යි කීවා වූ සිංහනාද වික්‍රමය දැන් තුන්ලෝවාසීන් තුඩ තුඩ විය.

“එ දවස් මා ම නිසා ජයගත් යුද්ධයෙහි සන්තෝෂ වූ ශක්‍රදේවේන්‍ද්‍රයා අෂ්ටවංක වෛරොවන මාණික්‍යරත්නය ශක්‍රපුරයෙන් ගෙනවුත් ග්‍රීවාභරණ කොට පලඳවා ලී ය, ඒ දිව්‍යරත්නලාභය ද මා ම නිසා විය. එසේ හෙයින් ස්වාමීනි! අඥාන වූ ලෝකවාසීහු මා ප්‍රභාවතී නම් ව ස්වාමිදරුවන්ට දැඩිකම් කළැ යි යෙති, මම වනාහි සිතින් දැඩිකමක් නොකෙළෙමි, සිතින් සෙනෙහස ම කෙළෙමි, සෙසු ජාතිභේදවලැ එකි එකී පාරමිතාවන් ම පිරූ සේක. මා දැඩිකම් කළ ජාතියෙහි පාරමිතාවන් දසදෙන ම වෙන වෙන ම සාදා දෙවාලීමි, තුඩ තුඩ වික්‍රම කියවාපීමි, කුශලා කුශල ධර්‍මයන්ගේ විභාගය ද ලෝකවාසීන්ට හඟවා ලොකාර්ථය ද කෙළෙමි, එසේ හෙයින් ඒ ජාතියෙහි මා වරදක් නොදක්මි, කිසියම් වරදක් ඇතියේ වී නමුත් එ දවස් ම කලල් පිට වැදහෙව:-

“යා ඉමා රත්ති අතික්කන්තා - තා ඉමා දෙව තයා විනා,

වන්දෙ තෙ සිරසා පාදෙ - මා මෙ කුජ්ඣ රථෙසහ” -යි.

යන මේ ගාථාව කියා කුස රජ්ජුරුවන් ක්‍ෂමා කරවා ගත්මි, එ වේලෙහි කුසරජ්ජුරුවෝ:

“එවං තෙ යාචමානාය - කිං න කාහාමි තෙ වචො,

විකුද්ධෝ ත්‍යස්මි කල්‍යාණි - මා ත්‍වං භායි පභාවති”-යි.

“යන මේ ගාථාව කියා ක්‍ෂමා කළහ. එසේ හෙයින් ඒ ජාතියෙහි මා කළ වරදෙක් ඇත්නම් මේ ජාතියට නො තිබුයෙමි, තව ද: පසේබුදුන්ගේ පාත්‍රයට මා පිළිගැන් වූ අතිරස කැවුම් සපත්නිරෝෂයෙන් පාත්‍රයට අත ලාලා හැරගත් දවස් පසේබුදුහු සුන්බත් වූ සේක් වී නම් සතියෙන් ධ්‍යානයෙන් නැගි දවස හෙයින් පිරිනිවන් පානා සේක, එ දවස් ස්වාමිදරුවන්ට ආනන්තරීය කර්‍මය සිද්ධ වන දවස ය, එ කෙණෙහි මම කලකිරිගිතෙල් පිළිගන්වා නුඹවහන්සේ කළාවූ අපරාධය සාපරාධ ම හෙයින් දුෂ්ට වූ ප්‍රාර්ථනාවක් කොට ලජ්ජා කරවා එම කැවුම් ඔබ ම අතින් පිළිගන්වා එ සා පාපයෙකින් ගොඩනංවා පිටිවහල් වීමි, ඒ ජාතියෙහි දු මා වරදෙක් නැත.

“තව ද: බන්ධනාගාර ජාතකයෙහි ස්වාමිදරුවන්ට මා හැර තපසට නික්මුණු කල මා දැරි ඇති බවු කියා ඒ දරුවන් වැදූ කල ගිය මැනව, හිරු වැන්දවූ කල ගිය මැනව, බත් කැවූ කල ගිය මැනව, කෙස් බෑ කල ගිය මැනවැයි යනාදීන් මා රැඳවූ රැඳවූ කලු දු, ස්වාමි දරුවනු දු, මාගේ බසින් ම තපසට නො ගොස් රඳ රඳා ගිය කල පසුව මටත් සොරා තපසට ගිය කල මා එකලාව දරුමලෙහි බැඳී බොහෝ දුග් ගත් කලු දු ඇත, තපසට මා කළ බාධා ඇත. එයි දු සංසාර දෝෂ බව මිස මා වරද ය යි නො සිතමි, සියලු ස්ත්‍රී - පුරුෂයන්ගේ සාධාරණ ධර්‍මයෙක.

“තව ද ස්වාමිදරුවන් හා මා හා කුම්භකාර කර්‍මාන්තයෙන් නිරවද්‍ය ජීවිකා කල සමයෙහි, පසේබුදුන් දැක දන් දී බණ අසා ස්වාමි දරුවෝ මට පළමුව මහණ වෙමි යි සිතූසේක. මම ස්වාමිදරුවන්ට පළමු ව මහණ වෙමි යි සිතීමි, එ කල රාහුල නම් මෙම පුතණුවන් පස්මැසි කල එ දරුවන් හා මා හා ගම හැර ස්වාමිදරුවාණන් තපසට නික්මුණු කල රඳවාගත නොහී එ දරුවන් ස්වාමිදරුවන් අතට වඩා “මා පැන් කළයක් ගෙනා කල ගිය මැනවැ”යි මායමක් කියා කළය ගෙන පැන් යන පසාරයෙන් වඤ්චාවෙන් වලට ගොස් මහණ වීමි, මහණදම් පිරීම් නම්, සසර සයුරෙන් ගොඩ නැඟීම් නම්, සියලු සතුන්ටම මිහිරිවන දෙයක් හෙයින් තපස් නිසා කී කළ මායමෙහි දු, සොරා ගිය ගමනෙහි දු, අපරාධයක් නො දක්මි.

“එ කල පුතණුවන් සතර පස් හැවිරිදි වන තුරු නුඹ වහන්සේ එකලාව, පිරිමි ව සිට, දමින් බැඳි ඇතකු සේ දරුමලෙහි බැඳී එක් වේලෙක බැල මෙහෙ කොට කිරි සොයා ගෙනෙමින්, අඳුන්තෙල් ගෙනෙමින්, එක් වේලෙක දරුවන් නහවමින්, නිඳි ගන්වමින්, බඩ දීගෙන සැතපෙමින් “ ගැහැණී අද ඒ දෝ, සෙට ඒ දෝ හෝ”යි මා ගිය. මඟ බලමින් “ගැහැණි මා වෙහෙසාලුව”යි කියමින් එක් අතෙකින් සක දම දමා වළන් උකමින්, එකලාව ඒ වළන් තළමින්, වියලමින්, පළහමින්, විකුණමින්, දවසින් දවස දෙපුතුපියන් බඩ පදිමින්, ගත්තාවූ පුත්‍ර ව්‍යසනය හා ස්ත්‍රියක සේ කළාවූ දරුසනාවට ඒ පුතණුවන් වහන්සේ ම වෙස්සන්තර ජාතියෙහි බමුණාට දන් දෙන වේලෙහි උපන් භයින් වල් වැද සිවුරැස් පොකුණෙහි නෙළුම් පත් පීරා සැඟවී සිට නුඹවහන්සේ “පුතණ්ඩ! ජාලිය කුමාරයෙනි”යි අඬ ගැසූ අඬ අසා දෑතින් නෙළුම්පත් පීරාගෙන “බමුණා මැ ගැති කෙරේව යි මපියාණන් වහන්සේට මා වැනි ශික්‍ෂිත දරුවෝත් ජීවිතයක් නිසා සැඟවෙද්දැ”යි දිව දිව අවුත් “මපියාණෙනි! මම මෙ තැන සිටියෙමි, කැමැත්තක්හට මා දන් දුන මැනැවැ”යි කිය කියා අත් සුං දිගුකළ වේලෙහි ම ප්‍රත්‍යුපකාර කොට නිමවාලු සේක. එ කල මවුන් නැති ව ඔබට කළ දරුසනාවට ඔබ ම සසර සයුරට අත් දුන් සේක.

තව ද මේ ජාතියෙහි දායාද සම්පත් සොයා එවාලු දවස් “රාහුලයා ඉසකේ කපා මහණ කරව”යි වදාළ වේලෙහි සත් හැවිරිදි වයසැ මවුන් සඳහන් නො කොට කර බාගෙන උත්තරයක් නො කියා, මුත්තණුවන් වහන්සේටත් මටත් කියා නො එවා, ස්වාමි දරුවන්ට ම කීකරු ව, ඉසකේ කපන්ට ඉස නමා පෑලූ ශික්‍ෂිත කමින් ම, එ දවස් ගත් මහත් දුකට මේ දවස් ප්‍රත්‍යුපකාර කළ සේක් දෝ හෝ යි සිතමි. එසේ හෙයින් එ සමයෙහි ස්වාමිදරුවන් මා නිසා කළාවූ පුත්‍රව්‍යසනය ස්වාමි දරුවන්ට ම පිටිවහල් වීය. එසේ හෙයින් එ තැන්හි දු මා වරදක් නො දක්මි.

තව ද: ඒක් ජාතියෙක ස්වාමිදරුවන් රජ කල, මා අගබිසෝ කල ස්වාමිදරුවන් සග හෙයින් මා මැළි හෙයින් “සමවයස් පෑ පෙම් වඩා ගන්මි”යි සිතා ඉස බලන පාසාරයෙන් මා හිසින් නරයක් කඩා පෑ “හිමි! තොප ඉස නර බලව”යි ස්නෙහෙ දෝෂයෙන් එක බොරුවක් කීමි, එ කෙණෙහි ඒ නරය දැක “ජරාවට පැමිණියෙමි” යි අනිත් ලකුණු උපදවා මා හා සියලු රාජ්‍යාවාසීන් හඬ හඬා සිටිය දී ඇමැතියන් වළක්ව වළක්වා රාජ්‍යය හැර ගොස් ජීවිතාන්තය දක්වා තපස් කොට ගොස් බඹලොව උපන් හෙයින් මා කීවාවූ ඒ ජාතියෙහි එක බොරුව ස්වාමිදරුවන්ට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව හා ශීල පාරමිතාව හා පාරමිතාවන් දෙදෙනකු සාධා දී ලී ය. එසේ හෙයින් ඒ මෘෂා වාදයෙහි දු මා වරදක් නො දක්මි.

තව ද: කුරුධර්‍ම ජාතකයෙහි ස්වාමිදරුවන් රජ කල මා අගබිසෝ කල යුවරජහු මුහුණ දවසෙක සානුරාගයෙන් බලාපූ වරදෙක් ඇත, ඒ වරද නො සඟවා “මාගේ ශීලාන්තරාය වී දෝ හෝයි මෙසේ වූ වරදක් සිතිමි”යි මා කී හෙයින් වරද නො සැඟවූ හෙයින් එතැන්හි දු මා වරදක් නො දක්මි.

තව ද: අභ්‍යන්තර ජාතක-සුසීම ජාතකාදි කිසියම් තෙනෙක අවශෙෂ වූ රජුන්ට මා අගමෙහෙසින් වූ තැනුදු පෙනෙයි, සංසාර ය නම් අග් මුල් නැති හෙයින් එසේ එසේ වූ වරද නිවරද ම ය. තව ද: අභ්‍යන්තර නම් අඹයට මා දොළන කල මට අඹ සොයා ඇවිදිනා ඒ රජුගේ සේවකයෝ ස්වාමිදරුවන් හා පන්සියක් තවුසන් සිත් සේ ධ්‍යාන සුව විඳිනා අතිරම්‍ය වූ මඟුල් උයනින් නෙරියහ. එ තැන්හි දු සක්දෙවු රජහුගේ මුත් මා වරදක් නොදක්මි. එසේ ද වුවත් මේ ආදි තැන්හි මා විසින් කළාවූ කිසියම් අපරාධයෙක් ඇත් නම් මේ අන්තිම වූ ක්‍ෂමාවය, අන්තිම වූ දර්ශනය ය, අන්තිම වූ ජාතියය, මට නිඃශෙෂයෙන් ම ක්‍ෂමා කොට වදාරා ශාන්තිපුරයට අවසර දුන මැනවැයි දැන්වූ දෑ ය. එයින් කීහ. අපදානයෙහි:-

එකස්මිං සමයෙ රම්මෙ-ඉද්ධෙ රාජගහෙ පුරෙ,

පබ්භාරම්හි වරෙකම්හි-වසන්තෙ නරනායකෙ.

.

වසන්තියා නම්හි නගරෙ-රම්මෙ භික්ඛුනුපස්සයෙ,

යසොධරා භික්ඛුනියා-එවං ආසි විතක්කිතං.

.

නන්දො රාහුලභද්දො ච-සාවකග්ගා තථෙව ච,

සුද්ධෝදනො මහාරාජා-ගොතමී ච පජාපතී

.

අභිඤ්ඤාතා මහාථෙරා-ථෙරීයො ච මහිද්ධිකා,

සත්තිං ගතාව ආසුං තෙ-දීපච්චීව නිරාසවා.

.

ලොකනාථෙ ධරන්තෙව-අහම්පි ච සිවං පදං,

ගමිස්සාමීති චින්තෙත්‍වා- පස්සන්තී ආයුමත්තනො.

.

පස්සිත්‍වා ආයුසංඛාරං-තදහෙව ඛයං ගතං,

පත්තචීවරමාදාය-නික්ඛමිත්‍වා සකස්සමා.

.

පුරක්ඛතා භික්ඛුනීනං-සහස්සෙහි තහිං තහිං,

ඛණෙ මහිද්ධිකා පඤ්ඤා-සම්බුද්ධං උපසංකමි.

.

සම්බුද්ධං අභිවාදෙත්‍වා-සත්‍ථුනො චක්කලක්ඛිනො,

නිසින්නා එකමන්තම්හි-ඉදං වචනම‘බ්‍රැවී.

.

අට්ඨසත්තති වස්සාහං-පච්ඡිමො වත්තතී වයො,

පබ්භාරම්හි අනුප්පත්තා- ආරොචෙමි මහාමුනෙ.

.

පරිපක්කො වයො මය්හං-පරිත්තං මම ජීවිතං,

පහාය වො ගමිස්සාමි-කතං මෙ සරණමත්තනො.

.

වයො ච පච්ඡිමෙ කාලෙ-මරණං උපරුජ්ඣති,

අජ්ජ රත්තිං මහාවීර-පාපුණිස්සාමි නිබ්බුතිං,

.

නත්ථි ජාති ජරා ව්‍යාධි-මරණඤ්ච මහාමුනෙ,

තත්‍ථ ගච්ඡාමහං වීර-ගතො යත්‍ථ න දිස්සති.

.

යාවතා පරිසා එත්‍ථ-සමුපාසන්ති සත්‍ථුනො,

අපරාධං පජාතං මෙ-ඛමන්තු සම්මුඛා මුනෙ.

.

සංසරන්තා ච සංසාරෙ-ඛලිතඤ්චෙ මමං තයි,

ආරොචෙමි මහාවීර-අපරාධං ඛමස්සු මෙ-යි.

මෙසේ ඒ යශෝධරා ස්ථවිරීන් වහන්සේ අනෙකප්‍රකාරවූ කථාවෙන් සසර තමන් වහන්සේගේ පූර්‍ව විශ්වාස හඟවා බුදුන් අතින් අවසර ඉල්වූ වේලෙහි ස්වාමිදරුවෝ උන්වහන්සේ තමන් වහන්සේට සංසාරයෙහි කළාවූ බොහෝ උපකාර හා අපරිමිතවූ ගුණ දැක “මේ යශෝධරාව වැනි පින්වත් ස්ත්‍රියක් මාගේ බුද්ධෝත්පාදයෙහි නැත, දැන් මෝ තොමෝ අසංඛ්‍ය ගණන් කප්වලැ ජාති දක්නා නුවණ ඇත්තී ය, අසාධාරණ වූ දිවස් ඇත්තී ය, විශේෂ වූ දිවකන් ඇත්තී ය, නසන ලද ආශ්‍රවයන් ඇත්තී ය, ත්‍රිවිද්‍යායෙහි මුදුන් පැමිණියා ය, බුදුන්ට අනු වූ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය ඇත්තී ය, තමා රහත් වූ දවස් පටන් බුදුන් කෙරෙහි කළ මහත් වූ ආදර හා බහු මානයෙන් පෘථග්ජන මෙහෙණින්නක් සේ නිහතමාන ගුණයෙන් තමන්ගේ ඍද්ධිබලයක් නො දක්වා විසුව, එසේ හෙයින් මෑගේ පෙළහර බල දුටුවෝ නැත, මතු ලෝකවාසීහු රාහුලමාතාවෝ නම් කෙසේ වූ කෙනෙක් දෝ හෝ, රහත් වූ දෝ හෝ, නොවූ දෝ හෝ, පෙළහර ඇතියෝ දෝ හෝ, නැතියෝ දෝ හෝ යි ශංකා උපදවන්නාහු ය, මතු සත්ත්‍වයන්ට උපදනා ඒ ශංකා දුරු කරවා මැගේ ඍද්ධිබල වික්‍රම හා පූර්‍වචරිතය මෑ ලවා ම දක්වා, මෑගේ ගුණ මතු මාගේ ශාසනයෙහි ප්‍රසිද්ධ කරවමි”යි සිතා “යශෝධරා ස්ථවිරීනි! තොප වැනි පින්වතුන් ලෝකවාසීන්ට ආනුභාවයක් නො දක්වා අප්‍රසිද්ධ ව නිවන් පුරයෙහි සැඟවෙනු නො යෙදෙයි, දැන් තොපගෙන් කිසියම් පෙළහරක් මා මැදයෙහි දක්වා බලගැ”යි වදාළ සේක. එයින් කීහ අපදානයෙහි:

සුත්‍වාන වචනං තස්සා-මුනින්‍දො ඉදම්බ්‍රැවී,

කිමුත්තරං තෙ වක්ඛාමි-නිබ්බාණාය වජන්තියා.

.

ඉද්ධීඤ්චාපි නිදස්සෙහි-මම සාසනකාරියො,

පරිසානඤ්ච සබ්බාසං-කඞ්ඛං ජින්‍දස්සු සාසනෙ-යි.

එ වේලෙහි “යශෝධරා ස්ථවිරීන් වහන්සේ අද රෑ පිරිනිවන් පානා සේක් ල, දැන් අවුත් බුදුන් වැඳ ක්‍ෂමා කරවමින් සිටිසේක්ලැ”යි මෙ තෙපුල් සියලු භික්‍ෂුගණයා කෙරෙහි සැලව ගිය. එ කල “රාහුල මාතාවන්ගේ පරිනිර්‍වාණය වනුයේ නම්, අප බුදුන්ගේ ද පරිනිර්‍වාණය ආසන්න වන හෙයින් ම යැ”යි කිය කියා ක්‍ෂීණාශ්‍රවයෝ සංවේග උපදවමින්, පෘථග්ජන භික්ෂූහු! කඳුළු ධාරා වගුරමින්, දහස්ගණන් ශ්‍රාවකයෝ අවුත් බුදුන් පිරිවරා සිට ගත්හ. එ තෙපුල් ඇසූ ඒ රජගහා නුවර කෝටි ගණන් සත්ත්‍වයෝ ද, ඔවුනොවුන් පරයා දිව දිව අවුත් රැස්වූහ. එ කල යශෝධරා මහා ස්ථවිරීන් වහන්සේ “අද බුදුහු මා හා පෙළහරක් කරවා මා හා සිංහනාද කරවනු කැමැතිසේක් වන. පෙර නො එක් ජාතියෙහි ඔබට කීකරුවම අවුත් කෙළවර ජාතියෙහි වදාළක් කළමනා ම ය.

.

“බුදුන් අදහස් වු පරිද්දෙන්ම මාගේ සෘද්ධිබල දක්වා පෙළහරක් කෙරෙමියි, බල එකෙක් ඇත; මේ පර්‍ෂදෙහි සරාගී සත්ත්‍වයෝ බෙහෙව, ඔහු ස්ත්‍රීභාවයෙහි සිට මා දක්වන්නාවූ පෙළහර බලා මා වූ පවත් නො දැන මා කෙරෙහි ලෝභ සිත් ඉපැදවූ නම් එ පවින් ගොස් අපායගත වන්නාහ. පළමුකොට ඔවුන්ට මා වූ පවත් හඟවා ඔවුන්ගේ විතර්ක සිත් දුරු කොට පෙළහරක් දක්වමි”යි සිතා බුදුන් වන දෙස වැඳ සිට, “සෙසු බෝසත්වරුන් අටාසංඛ්‍යෙය කප්ලක්‍ෂයෙකින්, සොළොසාසංඛෙය්‍ය කප් ලක්‍ෂයෙකින් කරන්නාවූ වීර්‍ය්‍ය සාරාසංඛ්‍යය කප්ලක්‍ෂයක් ඇතුළත සාක්ෂාත් කොට මා වැනි ස්ත්‍රියකගේ අනුබලයෙන් පුරා නිමවා ගත් අධික වූ වීර්‍ය්‍ය ඇති බුදු රජාණෙනි! නුඹ වැනි බුදු කෙනකුන් ඉදිරියෙහි පෙළහර පානාවූ මම දෙවි-බඹ කෙනකුන්ගෙන් උපදෙස් ලත් අනික් ඍද්ධිවන්ත කෙනෙක් නො වෙමි, නුඹ වහන්සේ පෙර සිද්ධාර්ථකුමාරයෝ ය යි දඹදිව ප්‍රසිද්ධ ව, ශක්‍ර දේවේන්‍ද්‍ර ලීලාවෙන් රාජ්‍යය කරන කල, සයානූලක්‍ෂයක් පුරස්ත්‍රීන්ට නායක ව අග්‍ර මහිෂිකා වූ යශෝධරා දේවී නම් මම ය.

එ කල: රූපයෙන්-යෞවනයෙන්-කුලයෙන්-යශසින්-ආචාරයෙන් අග්‍ර වූත් ස්ත්‍රීසමූහයා දිව්‍යාඞ්ගනාවක දුටුවා සේ මා ම වඳිති, පුදති, සත්කාර කෙරෙති. මේ ලෝකයෙහි බුදුන් විනා රූපයෙන්-යශසින් මට වඩනා සත්ත්‍ව කෙනෙක් නැත, එසේවූ සැපත් හැර මමද ස්වාමිදරුවන් සමීපයෙහි මහණ ව උපදෙස් වූ පරිද්දෙන් විදර්ශනා වඩා අමාමහ නිවන් දුටිමි. රහත්වීමි. කෙලෙසුන් ගෙවීමි, කෙලෙස් මුහුදු පිනීමි, කෙලෙස් සතුරන් දුරුකෙළෙමි, සංසාර සාගරයෙන් ගොඩ නැංගෙමි, මතු ජාතියෙක නො උපදිමී, අනිත් පුරුෂයක්හට භාර්යා නො වෙමි. අසාධාරණ වූ ඍද්ධි ලදිමි, විශේෂ වූ දිවකන් ලදිමි, විශේෂ වූ දිව ඇස් ලදිමි, අසංඛ්‍යගණන් ජාති දන්නා නුවණ ලදිමි. වැළි දැන් මා විසින් දක්වනලද නුඹවහන්සේගෙන් දෙවා වදාළ කිසියම් ඍද්ධිබලයක් බලා වදාළ මැනවැ”යි සිංහනාද කොට තමන් වහන්සේ වූ පවත් මහපිරිසට හඟවාලා බුදුන්ගේ ශ්‍රී පාද පද්මයට බස්නා රාජහංසධේනුවක සේ නොහොත් ශ්‍රී පාද පද්මයට බස්නා ශ්‍රී කාන්තාව සේ, බුදුන්ගේ ශ්‍රීපාද වැඳ අවසර ඉල්වාගෙන ධ්‍යානයෙන් ධ්‍යානයට සමවැද වැද ආකාශයට තලක් නැඟී බැස බුදුන් වැඳ, එසේ ම දෙ තලෙක, තුන් තලෙක, සතර තලෙක, පස් තලෙක, ස තලෙක, සත් තලෙකැ යි සත්‍වාරයක් ආකාශයට නැඟී බැස සත් වාරයක් බුදුන් වැඳ වාරයෙන් වාරයෙහි:-

යසොධරා අහං වීර-අගාරෙ තෙ පජාපති,

සාකියම්හි කුලෙ ජාතා-ඉත්‍ථියඞ්ගෙ පතිට්ඨිතා-යි.

යන මේ ගාථාවෙන් සත් වාරයක් සිංහනාද කොට, නැවත සියක් තල, දහසක් තලෙක, සුවහස් තලෙකැ යි යනාදීන් නැඟි නැඟී බැස බැස, නැවත නැවත බුදුන් වැඳ වැඳ; තව ද: ආකාශයට නේ සුවහස් තල පමණ නැඟී පුන්සඳක් සේ සියලු සතුන්ට පෙනි පෙනී සිට සියලු සත්හු ම මා දකිත්ව යි අධිෂ්ඨාන කොට “දෙවියනි! බඹුනි! යශෝධරා ස්ථවිරී නම් මම ය, අද බුදුන්ට මා විසින් කරන ප්‍රාතිහාර්‍ය්‍ය පූජා දක්නට එව”යි දසදහසක් සක්වළ දෙවියන් ඇසෙන සේ අඬගෑ දෑ ය. එ තෙපුල් දස දහසක් සක්වළ මුළුල්ලෙහි සැටදහසක් කාමාවචර දිව්‍යලෝකවල දෙවියන්ට ඇසී ගිය, එක් ලක්‍ෂ පනස් දහසක් බඹලොවට ද ඇසී ගිය. එ වේලෙහි දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්ම සෙනාව මොහොතක් කලින් දිව අවුත් නළෙක තුඹු සුණු පිරුවා සේ අහස්කුස් පුරා බඹලොව දක්වා ගැහැටි ගැහැටී සිටියහ. ඒ මධුර වූ නාදය කන හුණු මුළු දඹදිව සියලු ස්ත්‍රී පුරුෂයෝම අහස් බලා පුන්සඳක් සේ වැඩසිටි උන්වහන්සේ විශේෂයෙන් දැක දොහොත් මුදුන් දෙමින්. සාධුකාර දෙමින්, ඒ ඒ ගම් නියම් ගම් රාජධානි ප්‍රත්‍යන්ත දේශවල ද තමන් තමන්ගේ දොර දොරවල ම සිට බලති.

එ වේලෙහි උන්වහන්සේ ආකාශයෙහි පෙනි පෙනී සිට තේජොකසිණ සමාපත්තියට සමවැද-සියලඟින් දුම් කඳු හැර මුළුලෝ දුමවා, සියලඟින් ගිනිකඳු හැර මුළුලෝ ගිනි පුලිඟුයෙන් පුරා “මම ය, අනිකෙකිම් නොවෙමි, බුදුන් ගිහිගෙයි වසන කල ප්‍රජාපතී වූ රහල් තෙරුන් මවු වූ, යශෝධරා නම් ස්ථවිරීමි”යි හඬගා කියා මුළුලෝ සාධුනාදයෙන් පුරවමින් නැවත කලක් පෙනි පෙනී සිට කලක් අන්තර්ධාන වන දෑ ය. නැවත එක මෙහෙණිනි රූපයෙන් විකුර්‍වර්ණ වූ සෘද්ධි දක්ව දක්වා එක කොපුයෙන් සුවහස් කඩුපත් හයා පානා සේ, නේසුවහස් එක්වැනි වූ මෙහෙණිනි වෙස් මවා මුළු සක්වළ පුරා සිටුවා ඒ සා මහත් භික්ෂුණී පිරිසක් ලවා “මමය, බුදුන්ට පාරමිතා සාදා දුන් යශෝධරා ස්ථවිරීමි”යි තුඩ තුඩ කියවා තුන්ලොව එක කොලාහළ කළ සේක. එ කෙණෙහි සියලු දෙවි මිනිසුන් දුන් සාධුකාරයෙනුදු මුළු ලොව එක කොලාහල වී ය.

නැවත “මාගේ බුදුන්ට ගරුඬ විතානයෙකින් පූජාවක් කෙරෙමි”යි සිතා මෙරගල සා ශිඛාවෙකින් හා සඳමඬුලු සා ඇස්සඟළෙකින් හා සක්වළ ගල සා මුඛ තුඩකින් හා පූර්‍වවිදෙහි දිවයින සා දකුණු පියා පතකින් හා අපරගොයාන දිවයින සා වම් පියාපතකින් හා ජම්බුද්වීපය සා ශරීරයෙකින් හා උතුරුකුරු දිවයින සසා ඉසකින් හා මහ ගුරුළු වෙසක් මවා දෙපියායෙන් මේ සා මුළු සක්වළ සිතියම් වියනකින් වැසුවාසේ අතුරු නොදී වසා සිට, සියක් යොදුන් මහ දඹගස මුලිනුපුරා හයාගෙන වල්විදුනාවක්සේ බුදුන් ඇඟට සල සලා මොහොතක් කල් සුවඳ මඳ පවනින් බුදුන් ඇඟට සුව පහස් දෙවමින් මහත් වූ ගරුඬ නාදයෙන් තුන්ලොව වෙවුල්වා “මම ය, සත්‍වයෙනි! දිව්‍යනාගරාජයෙනි! ගරුඩරාජයෙක් නො වෙමි, භය නො ගන්ව, යශෝධරා මහාස්ථවිරීමි”යි හඬගා කී දෑ ය. එ කෙණෙහි දු මහ පිරිස සාධුකාර දුන්හ.

එ පෙළහර හැර නැවත දහස් සුවහස් යොදුන් අහස්කුස වසා සිටිනා තරම් දිව්‍යහස්ති රූපයක් මවා මුළුලොවට පෙනි පෙනී සිට ශක්‍රපුරයට අත දිගු කරලා පරසතු මඳාරා ගස හයාගෙන බුදුන් සිරසට මල් සේසතක් සේ කෙරෙමින් මොහොතක් කල් සිට, නැවත බුදුන් ඇඟට මලත්තක් සේ සලා මල් සුවඳින් බුදුන් පුද පුදා එ කෙණෙහි මහපිරිස අහෝ! සාධු අහෝ! සාධුයි එකපැහැර සාධුකාරදී හිමි නුඹ කවුරුදැයි විචාළ කල “මමය, අනිකෙකිම් නොවෙමි, ගෞතම නම් බුදුරජාණන් ගිහිගෙයි වසන කල ප්‍රජාපතී වූ එක්තරා කුලස්ත්‍රියකිමි, බුදුන්ගෙන් මා ලද කිසියම් ගුණ ලවයක් බලව”යි කියා තුන්ලොවට ඇසෙන සේ මහත් වූ කුඤ්චනාද කොට, තුන්ලොව වෙවුල්වා හස්තිමාන නම් වූ පූජාවක් කළ දෑය. එ කෙණෙහි දු මහත් වූ සාධුකාර පූජා විය.

නැවත එ පෙළහර හැර එසේ ම මහත් වූ දිව්‍ය අශ්ව රූපයක් මවා සක්වළගල සිසාරා ය, යුගන්‍ධරාදි සත්කුලපව්වන් සිසාරා යයි සුවහස් වාරයෙහි ආවර්තනය කරවා නැවත ක්‍ෂණක්‍ෂණයෙහි මුළු සක්වළ කුස එක අශ්වරූපයෙන් බැලු බැලු දිග්හි අපමණ වූ අශ්ව සේනාව දක්ව දක්වා, නැවත එකරූපයෙන් සිට මුළු ලොවට ඇසෙනසේ හෙෂාරව කෙරෙමින් “මම ය, දෙවියෙක් බඹෙ‍ක් නො වෙමි, යශෝධරා ස්ථවිරීමි”යි හඬගා කියා දිව්‍ය මනුෂ්‍යයන් ලවා සාධුකාර දෙවු දෑ ය.

ඒ පෙළහර හැර එම මෙහෙණිනි වෙසින් පෙනී “සත්ත්‍වයෙනි! කල්පාන්ත වාතයෙහි මහා පර්‍වත රාජයන් ආකාශයට නැඟෙන ලෙස්, ඉන් ඊ ගැසී සුණු විසුණු වන ලෙස්, පුලුන් පෙද සේ බමන ලෙස්, මාගේ බුදුහු සද්ධර්මයෙන් තොපට දක්වා වදාළ සේක. මම ඍඬිබලයෙන් දැන් එ ගෙන හැර පාමි, සිත් සේ බලව යි කියන්නාක්හු මෙන් අහස්කුස කල්පාන්තවාතය සේ මහාවාතමණ්ඩලයක් මවා මහා පර්‍වතරාජයන් පොළොවින් නැඟී, ඉන් ඊ ගැසි ගැසී සුළං වේගයෙන් ඒ ඒ දිග්හි ඇවිදිනා ලෙස්, පෙයාපත් සේ පුලුන් පෙද පෙද සේ බමන ලෙස්, දක්වා මහපෙළහරක් පෑ බුදුන් පිදු සේක. එවේලෙහි දු මුළු ලෝ විස්මයපත් විය.

නැවත ඒ පර්‍වතයන් අන්තර්ධාන කොට අහස්කුස මහා සමුද්‍රයක් මවා, සුවහස් රළපතර මවා, දහස් සුවහස් යොදුන් දිව්‍ය මත්ස්‍ය රූපයක් මවා, ඔහු කන්පත් වරල්පත් ලෙළවමින්, මහමුහුද ඇවිදිනා ලෙස් දක්වා, ඔහු ක්‍ෂණක්‍ෂණයෙහි ඇවිදවීමෙන් මහ මස් රළ සේ දක්ව දක්වා, ජලරාජ නම් වූ ඍද්ධි පූජාවක් කළදෑ ය. එ වේලෙහිදු මුළු ලෝ විස්මය පත් විය.

නැවත “සත්ත්‍වයෙනි! දහවල් තරු පිරිවර සඳක් දුටු විරූදැ”යි කියාලා උනුපනස් යොදුන් සඳමඬල මවා, සිසාරා මඬුලු මවා, රාජ ග්‍රහතරු අට හා නක්‍ෂත්‍ර තාරකාවන් සත්විසිදෙනා හා පාදයන් අටතුරාසියක් දෙනා හා රාසිග්‍රහයන් දොළොස් දෙනා හා යනාදි වූ සුවහස් ගණන් තරු මවා, අසමාන වූ චන්‍ද්‍රන්ද්‍රවිමාන නම් ඍද්ධි පූජාවෙකින් බුදුන් පුදා “ස්වාමීනි! මේ පෙළහර කරන නුඹ කවුරු දැ”යි දැන දැන ම තමන් වහන්සේගේ සිංහනාද අසන පිණිස දිව්‍ය මනුෂ්‍යයන් හඬගා විචාළ වේලෙහි “සත්ත්‍වයෙනි! මම ය, සඳදෙවියෙක් නො වෙමි, ගෞතම නම් බුදුරජාණන්ගේ පාරමිතා නමැති කෞමදයන් පුබුදු කරවා දීලු යශෝධරා චන්‍ද්‍රිකාවෝ නම් මමය”යි තුන්ලොවට ඇසෙන සේ හඬ ගා කී සේක. එවේලෙහි උපන් සන්තෝෂයෙන් තුන්ලෝ පුරා සිටි දිව්‍ය මනුෂ්‍ය ස්ත්‍රී සෙනගෙන් “මම ද බුදුවන මහතක්හට ම පාදපරිචාරිකා වෙම්ව යි මෙ බඳු වූ ශ්‍රීයෙක්, මෙබඳු වූ පෙළහරෙක්, මටත් වේවා” යි කිය කියා ප්‍රාර්ථනා නො කොට සිටි එක ද ස්ත්‍රියක් නැතැ යි සිතමි, සියල්ලෝ ම එක පැහැර පතමින් සාධුකාර දුන්හ.

නැවත ඒ පෙළහර ද හැර පනස් යොදුන් හිරිමඬල මවා, දහසක් රසකඳු දසදිග විහිදුවා “සත්වයෙනි! මම ය සූර්‍ය්‍ය දේවතාවා නොවෙමි, යශෝධරා ස්ථවිරීමි”යි හඬ ගා කියා සියලු සත්‍වයන්ගේ මුඛපද්මයන් ප්‍රබෝධ කරවා බුදුන්ට සූර්‍ය්‍යවිමාන නම් වූ අසමාන වූ ඍද්ධිපූජාවක් කළසේක.

නැවත එක්ලක්‍ෂ අටසැටදහසක් යොදුන් උදුන් උස මහමෙර මවා මෝරුමතක් පෙරලන්නා සේ එ පිටින් මෙ පිට පෙරළ පෙරළා සතර දිග සතර වර්ණය වෙන වෙන ම දක්වා සිසාරා සිටි සත්සයුරු සත් කුලපව්වන් වෙන වෙන ම දක්වා මහත් වූ ඍද්ධි පූජාවක් කළ සේක.

නැවත එ පෙළහර හැර “සත්‍වයෙනි! මාගේ බුදුහු ශක්‍රයාගේ සම්පත් තොපට සද්ධර්‍මයෙන් දැක්වූ සේක, දැන් මම ද තොපට ඍද්ධිබලයෙන් දක්වම්, බලව”යි කියන්නාක් මෙන් මොහොතක් කලින් ඔහුගේ ශක්‍රපුරයෙහි දහසක් රුවන් දොරටු ය, දෙසිය පනසක් රුවන් පවුරු ය, නොයෙක් උයන් පොකුණු ය, වෛජයන්ත ප්‍රාසාද ය, සුධර්මා නම් දිව්‍යසභාව ය, යනාදී වූ නොඑක් කර්මාන්ත විශේෂයෙන් විශේෂ වූ ශක්‍රපුරය දූත ඵලකයෙක සදා තුබු දු ඉත්තන් පානා සේ නිර්‍මල කොට දක්වා, නැවත ඔහු දෙවඟනන් පිරිවරා පාණ්ඩුකම්බල ශෛලාසන පැනනැඟී හුන් ලීලා ය, දිවපිරිස් පිරිවරා සුදර්ශන නම් රන්වීථියෙහි නිකුත් ශ්‍රී විභූතිය, තෙතිස්කුඹෙහි වෙන වෙන මැවු දළින් හා දළෙහි මැවු දිව පොකුණෙන් හා පොකුණෙහි මැවූ පියුම් ගසින් හා ගසෙහි මැවූ පියුමෙන් හා පියුමෙහි පියුමෙහි මැවු පෙති පෙත්තෙන් හා පෙත්තෙහි පෙත්තෙහි බැස නටන දිව්‍යාඞ්ගනා පෙළින් හා සැදුම් ලද ඵෙරාවණ නම් දිව ඇත් රජහු පැන නැඟී දෙදෙව්ලොව දෙවියන් ගෙන ඔහු නඳුනුයන් නිකුත් දිව්‍යශ්‍රීදැයි යනාදි වශයෙන් ශක්‍රයාගේ රූපය මවා පෑ සේක. එකෙනෙහි එතැනට රැස්වූ දසදහසක් සක්වළ දසදහසක් ශක්‍රදේවේන්‍ද්‍රයෝ “කොල! මූ කොයි ශක්‍රයෙක් දැ” යි අපටත් වඩනා ශක්‍රෙයකැ යි කිය කියා දොහොත් මුදුන් දී වැඳ සාධුනාද පූජා කළහ.

එවේලෙහි “සත්වයෙනි! මම ය, ශක්‍රයෙකිම් නොවෙමි, තමන් මවු කුසින් උපන් වේලෙහි පවා දසදහසක් ශක්‍රදේවේන්‍ද්‍රයන් අතින් වැඳුම් ගත්තා වූ ගෞතම නම් බුදුරජාණන් ගම වසන කල අග මෙහෙසීන් වූ යශෝධරා දේවිමි”යි හඬගා කී සේක. එ වේලෙහි මුළු ලොව සාධුනාදයෙන් ඒක නින්නාද වීය, මම ද බුදුවෙම්ව යි ප්‍රාර්ථනා නො කළ එක ද පුරුෂයෙක් නැතැයි සිතමි, මම ද බුදුකෙනෙකුන්ට සසර ප්‍රජාපතී වෙම්වයි නොපතා සිටි එක ද ස්ත්‍රියක් නැතැ යි සිතමි, ඒ සන්තෝෂයෙහි නුවන් නො තෙමු එක ද පෘථග්ජන කෙනෙක් නැතැ යි සිතමි.

පෙළහර පෑම

නැවත ඒ ශක්‍රරූපය අන්තර්ධාන කොට සක්වළ දහසක් වසා සිටිනා තරම් මහත් වූ දිව්‍යරූපයක් මවාගෙන, එක් පත්ලක් ඔසවාගෙන, දහසක් සක්වළ වසා තබමින් අනික් පත්ලෙන් අනික් දහසක් සක්වළ වසමින්, මෙසේ දහසක් සක්වළට පියවරක් පියවරක් බැගින් ඔබමින් මොහොතක් කලින් අනන්තාපරියන්ත වූ සක්වළ ඇවිද බුදුහු යයි යන නාම මාත්‍රාවක් නො ඇසු විරූ සත්ත්‍වයන්ට මේ මඟුල් සක්වළ බුදුන් උපන් බවු අස්ව අස්වා, බුදුන්ගේ නාමය ද අස්ව අස්වා තුණුරුවනේ නම් කිය කියා ඇසිල්ලෙකින් මේ සක්වළට පැමිණ “මම ය, යශෝධරා දේවිමි”යි හඬගා කී දෑ ය. ඒ ශබ්දය නො එක් සක්වළට ඇසිණ. එ කෙණෙහි දු තුන්ලොව පුරා සිටි දිව්‍ය මනුෂ්‍ය සේනාව අප්‍රමාණ වූ සාධුනාද පූජාවෙන් තුන්ලොව පිරූහ. එවේලෙහි උන්වහන්සේ විසින් දැක්වූ නො එක් පෙළහර පූජා හා සත්ත්‍වයන් කළඅද්භූත පූජාවන් වෙන වෙනම විශේෂයෙන් ගෙනහැර දක්වම් නම් මාගේ එක මුඛයකින් තබා සියක් දහසක් ලක්‍ෂයක් මුඛයෙනුත් කියා නිමවාගත නො හැක්කේ ම ය.

පූර්‍ව පක්‍ෂපාත වූ ජාතක දේශනා

මෙසේ නො එක් පෙළහරින් මුළුලෝ විස්මයපත් කරවා තමන් වහන්සේගේ නොයෙක් ඍද්ධිබල දක්වා, පූර්වෙනිවාසානුස්ම‍ෘතිඥාන ඍද්ධි දක්වා මහ පිරිසට දේශනාවක් කෙරෙමි යි සිතා ඒ දිව්‍යරූපය අන්තර්ධාන කොට දොළොස් යොදුන් මහබඹ වෙසක් මවා දෑත දසඟිල්ලෙන් දිවූ දසරස්කඳින් දසදහසක් සක්වළ ඒකාලෝක කරවමින් “මාගේ බුදුන් නාරද නම් බ්‍රහ්මරාජන් සමයෙහි නුදුටු කෙනෙක් දැන් මා දකුව”යි කියන්නා සේ මුළුලොවට පෙනි පෙනී ආකාශයෙහි පලග් බැඳ වැඩහිඳ එකෙණෙහි එක්ලක්‍ෂ පනස් දහසක් බ්‍රහ්මරාජයන් ආදීවූ සියලු දිව්‍ය මනුෂ්‍ය සේනාව අහෝ! සාධු අහෝ! සාධුයි එකපැහැර කියා, හිමි නුඹ කවර සක්වළෙකින් වැඩි බ්‍රහ්මරාජ කෙනෙක් ද, මේ දස දහසක් සක්වළ ම බ්‍රහ්මරාජයෝ නුඹ වඳින්නාහ, පුදන්නාහ, නුඹ සියලඟින් දිවන බඹරස්කඳින් සියලු දසදහසක් සක්වළ බ්‍රහ්මයෝ කදෝකිමියන් සේ නිෂ්ප්‍රභ වූහ. නුඹ කවුරුදැ”යි දැන දැන ම තමන් වහන්සේගේ සිංහනාද අසන නිසා විචාළ කල්හි “සත්ත්‍වයෙනි! මම දෙවියෙක් බඹෙක් නොවෙමි, ගෞතම නම් බුදුරජාණන්ට සංසාරයෙහි පක්‍ෂපාත ව ආ එක්තරා එක් කුලදුවකිමි, සෙසු කල් තබා ඔබ මහා සුදර්ශන නම් චක්‍රවර්ති රජව දොළොස් යොදුන් සත්රුවන්මය වූ නුවර අසංඛ්‍යයක් හවුරුදු රජසිරි වුන් සමයෙහි සුවාසූ දහසක් බිසෝවරුන්ට අධිපති වූ සුභද්‍රා නම් අගදේවී නමුදු මම් ම ය.

“මණිචෝර ජාතකයෙහි සත්‍යක්‍රියා බලයෙන් ඔබ දිවි රැක දී ඔබ ලවා ම මුළු දඹදිව අගරජය කරවාලු ශීලබල වික්‍රම ඇති සුජාතා නම් අගදේවී නමුදු මම් ම ය. සුරුචි ජාතකයෙහි ඔබගේ ප්‍රඥා පාරමිතාවට අනුබල ව ඔබ ශ්‍රීවන්ත කරවාලූ ස්වර්ණකාර ඨිතෘකාවෝ නමුදු මම් මය. කුම්මාසපිණ්ඩ ජාතකයෙහි ඔබ මුළු දඹදිව දශරාජ ධර්‍මයන් පිරූ සමයෙහි දානපාරමිතා ලතාව මල් ගන්වා දෙවාලූ මහිෂිකා දේවී නමු දු මම් ම ය. ආදිත්‍ය ජාතකයෙහි ඔබ භරත නම් රජ කල්හි සත්‍යක්‍රියා බලයෙන් තමන් දූතයන් උතුරු හිමාලයට යවා පසේ බුදුන් ගෙන්වා මහදන් දෙවා පින් රැස්කරවාලු සමුද්‍රවීජයා නම් දේවි නමුදු මම් ම ය. චුල්ලබොධී ජාතකයෙහි ඔබ බ්‍රාහ්මණ මහාසාර සැපත් හැර වල් ගොස් තපස් කළ සමයෙහි ඔබ හා සමඟ ම ගොස් සමඟ ම මහණ ව, දස හවුරුද්දක් එක පන්සලෙහි වැස දවසෙකත් බ්‍රහ්මචර්‍ය්‍යාවට අන්තරායක් නොසිතුවා වූ ශීලපාරමිතාව සාදා දුන් සම්මිල්ලභාසිනී නම් ඒ පරිබ්‍රාජිකාවෝ නමු දු මම් ම ය. විසය්හ ජාතකයෙහි ඔබ විසය්හ නම් ධනසිටු ව මහත් වූ දානප්‍රවාහ කළා වූ සමයෙහි දු නැතැ යි යන බසක් නො කියා දවසෙක් කුසීත නොව දානපාරමිතාව සාදා දුන් විසය්හ නම් සිටුදේවී නමු දු මම් ම ය.

“උදය භද්ද ජාතකයෙහි “ඔබ උභය භද්ද නම් රජ කල්හි සත්සියයක් හවුරුදු සැතපී එක යානෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවට අන්තරායක් නො කළා වූ තමන්ගේ ගුණධර්‍මයෙන් ශක්‍රදේවේන්‍ද්‍රයා ලවා සාධුකාර දෙවාපු මහපින්වත් ඒ උදයභද්‍රා දේවී නමුදු මම් ම ය. දශරථ ජාතකයෙහි ස්වාමිදරුවන් රාම නම් රජව සොළොස් දහසක් හවුරුදු දශවිධ වූ රාජධර්‍මයන් පිරූ සමයෙහි ඔබට ම පතිනීව විසූ “ලෝකයෙහි ගුණවත් ස්ත්‍රී නම් ශීතා දේවී ම යැ”යි තුඩ තුඩ කියවාපු ඒ ශීතා දේවි නමුදු මම්මය. චන්‍දකින්නර ජාතකයෙහි ශීලබලයෙන් සක්දෙව් රජහු ගෙන්වා ඔහු ලවා ඔබ දිවි රැකදෙවාලූ සඳ නම් ඒ කින්නරාඞ්ගනාවෝ නමු දු මම් මය. චම්පෙය්‍ය ජාතකයෙහි ඔබ චම්පෙය්‍ය නම් නාගරාජ කල්හි අහිතුණ්ඩිකයා අතින් ගළවා ස්වකීය වූ නාගසම්පත්තියෙහි ම පිහිටුවාලූ සුමනා දේවී නමුදු මම් මය. ජයද්දිස ජාතකයෙහි ඔබ ජයද්දීස නම් රජව යක්‍ෂයක් හට බත් වූ දවස් ශීලානුභාවයෙන් ඔබ දිවි රැක දී බොහෝ දවසක් එක්ව රාජ්‍යශ්‍රී අනුභව කළාවූ රාජමහීෂිකාවෝ නමුදු මම් ම ය. චුල්ලසුතසෝම ජාතකයෙහි ඔබ සුතසොම නම් රජ ව සුවාසූදහසක් හවුරුදු රාජ්‍යය කොට පළමු වන නරකෙස දැක රජය හැර තපසට යන දා සොළොස් දහස් සත්සියයක් බිසෝවරුන් හා සමග එක්ව ම ගොස් තපස් කළාවූ චන්‍දාදේවී නමුදු මම් ම ය.

“මහාජනක ජාතකයෙහි ඔබ මහාජනක නම් රජ කල්හි ඔබ හා සමඟ ම රජය හැර ගොස් තපස් කළාවූ සීවලී නම් අගදේවී නමු දු මම් ම ය. ඛණ්ඩහාල ජාතකයෙහි ඔබ සඳ නම් රාජකුමාරව යාග නිසා මරණ ප්‍රාප්ත වූ සමයෙහි සත්‍යක්‍රියා බලයෙන් ඔබ දිවි රැක දී බොහෝ දවසක් එක්ව ම රාජ්‍යශ්‍රී අනුභව කළා වූ සඳ නම් දේවී නමු දු මම් මය. විධුර ජාතකයෙහි ඔබ විධුර නම් මහ පඬිව මහත් වූ නුවණබල වික්‍රම දැක්වූ සමයෙහි දහසක් ස්ත්‍රීන්ට නායක වූ ප්‍රජාපතී දේවී නමුදු මම් ම ය. අනනුසොචිය ජාතකයෙහි උපෙක්ෂා පාරමිතාව සාදා දුන් සම්මිල්ලභාසිනී නම් පරිබ්‍රාජිකාවෝ නමු දු මම් මය. ඔබ මහෞෂධ නම් පඬි කල ඒ සා මහත් සැපතක් උපදවා ගැන්මෙහි අනුබල වූ බොහෝ දවසක් ප්‍රේමනීය ව විසූ අමරාදේවී නමුදු මම් ම ය. මහා වෙස්සන්තර ජාතකයෙහි සත් වාරයක් මහ පොළොව ගුගුරුවා දෙවි බඹුන් ලවා සාධුකාර දෙවා දානපාරමිතාව කුළුගන්වා දෙවාලු මද්‍රිදේවී නමුදු මම් ම ය.

“තව ද: මනොජ ජාතක-ලක්ඛණ ජාතක-සුපත්ත ජාතක- චක්කවාක ජාතක යනාදී වූ ජාති සහස්‍රයෙහි ඔබ හා සමඟ ම වැස ඔබගේ පාරමිතාවන්ට මා අනුබල වූ කල් මෙතෙකැයි පමණ නැත. නො එක් ජාතියෙහි ස්වාමිදරුවෝ මට උපකාරීම වූ සේක. මම ද ස්වාමිදරුවන්ට පක්‍ෂපාත ම වීමි. කල්‍යාණ වූ පුරුෂයන් විසින් ස්ත්‍රීන්ට ආදර සහිත වූ තෙපුල් කීම ය, අනාදර මිශ්‍ර වූ තෙපුල් නොකීමය, ස්වදාරාවන් හැර පරදාවන් කෙරෙහි සක්ත නොවීම ය, භෝජන සංවිධානයෙහි ස්ත්‍රීන් ම නායක කොට තිබීම ය, කලින් කලට තරම් වූ වස්ත්‍රාභරණ සපයා දීම ය යන මේ පඤ්චස්ථාන සංග්‍රහයෙන් මට සංග්‍රහ කළ සේක් ම ය.

“මම ද කල්‍යාණ වූ ස්ත්‍රීන් විසින් පුරුෂයන්ට කළ මනා වූ මනාව කරනලද කර්‍මාන්ත විද්ධානය, මනාකොට ආශ්‍රිත ජනයන් සිත් ගැන්මය, ස්වාමීහු හැර පරපුරුෂයන් කෙරෙහි සක්ත නොවීම ය, රැස්කළ සම්පත් රක්‍ෂාකිරීම ය, සියලු කාර්‍ය්‍යාකාර්‍ය්‍යෙයහි අලස නොවී දක්‍ෂ වීම ය යි යන මේ පඤ්චස්ථානයෙන් ඔබට විශේෂයෙන් සංග්‍රහ කෙළෙම් ම ය. එසේ හෙයින් මේ සංසාරයෙහි ඔබ ද මා පඤ්චස්ථාන සංග්‍රහයෙන් පිදූසේක. මම ද ඔබ පඤ්චස්ථාන සංග්‍රහයෙන් පිදීමි.

“තව ද; පින්වත් ස්ත්‍රී පුරුෂයෙනි! දිව්‍ය දිව්‍යාංගනාවෙනි! මේ ලෝකයෙහි ස්ත්‍රී-පුරුෂයෝ නම් චක්‍රයන් දෙදෙනාගේ සම වූ යෝගයෙන් සම ව ගමන් යන්නාවූ රථයන් වැනියහ, එසේ හෙයින් සම සම වූ අදහස් ලැබ්බ යුත්තාහ, කල්‍යාණ ස්ත්‍රීන් විසින් වල්ලභයෝ නම් ආදර කටයුත්තාහ, දෙවියන් සේ, ගුරුන් සේ මවුන් සේ පියන් සේ සිතිය යුත්තාහ. පුරුෂයන්ට අනාදර කළාවූ ස්ත්‍රීහු එ පවින් ගොස් අපයාගත වන්නාහ, පුරුෂයන්ට ආදර කළාවූ ස්ත්‍රීහු එ පිනින් සුගතියෙහි උපදනාහ.

සප්තවිධ භාර්‍ය්‍යාවෝ

“වධක භාර්‍ය්‍යා ය - චෞර භාර්‍ය්‍යා ය - ස්වාමි භාර්‍ය්‍යා ය - මාතෘ භාර්‍ය්‍යා ය - භගිනි භාර්‍ය්‍යා ය - සඛී භාර්‍ය්‍යා ය - දාසි භාර්‍ය්‍යා ය” යි ලෝකයෙහි පුරුෂයන්ට ස්ත්‍රීහු සත් දෙනෙක් වන්නාහ. ඔවුන් අතුරෙන් වධක භාර්යා නම් කවර යත්?

යම් ස්ත්‍රියක් ස්වාමිහු කෙරෙහි හැම වේලෙහිම දුෂ්ටවූ අදහස් ඇත්තී ද, සිතින් ප්‍රේමයක් නැති ව වඤ්චාමය වූ ප්‍රේම හඟවන්නී ද, ස්වාමීහු කෙරෙහි ඇලුම් නැති ව පරපුරුෂයන් කෙරෙහි සක්තව ඇවිදිනී ද, පරපුරුෂයන් ගරුකොට සිතන්නී ද, ස්වාමිපුරුෂයා ලඝුකොට සිතන්නීද, ගලින් පැන් උනවාගත නො හැක්කා සේ පුරුෂයා දුඃඛිත වූ අවස්ථාවෙහි ඕහට බැරි බැරි වූ සම්පත් එලවන්නී ද, ස්වාමීහු දැක්ක දී උස්පුටු ආදියෙහි ඉඳීමෙන් ආක්‍රොශපරිභව අනාදර කරන්නීද, එසේ වූ ස්ත්‍රී තොමෝ දිව්‍ය සමාන රූ ඇත්තී නමුත්, උතුම් වූ ජාති ඇත්තී නමුත්, අපමණ වූ දායාද සම්පත් හා දැසිදස් පරිවාර ජනයන් ඇත්තී නමුත්, ඕතොමෝ ඕහට භාර්‍ය්‍යාවක් නො වන්නී ය, ඔහුගේ අකුසල් නමැති වධකයා ඕහට වධ පිණිස මවාලූ අන්‍දුබන්‍ධනයක් වැන්නී ය. උරචක්‍රමාලාවක් වැන්නී ය. ඕහට හැම වේලෙහි ම අමෝරා ගෙන සිටිනා වධකා යුධයක් වැන්නී ය, කෙහෙලොමින් බැඳ සිරෝමුදුන් කළා වූ කඩු මුවහතක් වැන්නීය. මේ ආදි කාරණයෙන් ඕතොමෝ වධකභාර්‍ය්‍යා නම් වන්නී ය යි දතයුතු. එයින් වදාළහ:-

පදුට්ඨචිත්තා අභිතානුකම්පිනී

අඤ්ඤෙසු රත්තා අතිමඤ්ඤතෙ පතිං

ධනෙන කීතස්ස වධාය උස්සුකා

යා එවරූපා පුරිසස්ස භරියා

වධකා ච හරියා ති ච සා පවුච්චති-යි.

තවද: චෞර භාර්‍ය්‍යා නම් කවර යත්? යම් ස්ත්‍රියක් තොමෝ තමා සිත් සේ වසන්නී ස්වාමිහු ඇසිල්ලකුත් ගෙයි රඳාගත නො දී කෘෂි වණික් ආදි නොඑක් කර්‍මාන්තයෙහි යොදා ඒ ඒ තන්හි යවන්නී ද, නො එක් පාපක්‍රියාවෙහි යොදන්නී ද, ඔහු ගෙනා ගෙනා සැපත් සඟවන්නී ද, ඒ ඕහට නොපානී ද, පරපුරුෂයන්ට දක්වන්නී ද, ඔහු කී රහස් තමා හා විශ්වාසයන්ට කියා ඇවිදිනී ද, තමාට දීලු සැපතෙහි සරු නො කරන්නී ද, නුදුන් සැපතක් එලවන්නී ද, ස්වාමිහුගේ විශ්වාසයන් බන්‍ධුන්, ආශ්‍රිතයන්ට සංග්‍රහ නො කරන්නී ද, තමාගේ බන්‍ධුන් විශ්වාසයන්ට ම දෙන්නී ද, සත්පුරුෂ සංග්‍රහයෙහි ආදර නැත්තී ද, අසත්පුරුෂ සංග්‍රහයෙහි උත්සාහ ඇත්තීද එසේ වූ ස්ත්‍රී තොමෝ ඒ පුරුෂයාට භාර්‍ය්‍යා නම් නො වන්නී ය. ඔහුගේ ඇඟ නැඟී ගඬක් වැන්නි ය, පොළක් වැන්නී ය, අසාධ්‍ය වූ ව්‍යාධියක් වැන්නී ය, ඔහුගේ අකුසල් නමැති යමදූතයා ගෙනහැර ඔහු කෙරෙහි පිහිටුවාලූ චෞර ස්ත්‍රියක් වැන්නීය, ඔහුගේ සම්පත් නමැති වනයට පැමිණි ළැවුගිනි කඳක් වැන්නීය, කුසල් නමැති රුකට කෙටේරියක් වැන්නී ය, මේ ආදි කාරණයෙන් ඕතොමෝ චෞර භාර්යා නම් වෙයි දතයුතු. එයින් වදාළහ:-

යා ඉච්ඡතී වින්‍දති සාමිකො ධනං

බිප්පං වණිජ්ජංච කසිං අධිට්ඨහං,

.

අප්පම්පි තස්මා අපහාතුමිච්ඡති

චොරී ච භරියාති ච සා පවුච්චති-යි.

තව ද: ස්වාමිභාර්‍ය්‍යා නම් කවර යත්? යම් ස්ත්‍රියක් පුරුෂයා හට අනර්ථයක් කැමති වන්නී ද, අර්‍ථයක් නො කැමැති වන්නී ද, හැම වේලෙහි ම ගෙය හැර ඒ ඒ තන්හි ඇවිදීමෙන් - ගෙයි දොර සිත් නැති වීමෙන් - පරපුරුෂ සේවනාදියෙන් - අලස ව පවත්නි ද, බොහෝ කොට අනුභව කරන්නී ද, තමා උපන් ජාතියට නො තරම් වූ සම්පත් ප්‍රාර්‍ථනා කරන්නී ද, තමා සය මුත් අනුන් සය නො දන්නී ද, ස්වාමිහට අනාදර කොට ස්වාමිදුවක මෙන් පවත්නී ද, ස්වාමිහට අතිචණ්ඩ වූ අතිළාමක වූ දුරුක්ත වචනයන් කියන්නී ද, ඔයි දු ඕහට භාර්‍ය්‍යාවක් නොවන්නී ය. ඔහුගේ අභාග්‍ය නමැති යමරජහු ඕහට නිග්‍රහ කරව යි එවාලූ යමදූතියක වැන්නී ය, ස්වාමිදුවක වැන්නී ය, මේ ආදි කාරණයෙන් - ඕතොමෝ ස්වාමිභාර්යා නම් වෙයි දතයුතු. එයින් වදාළහ.

අනත්‍ථකාමා අලසා මහග්ඝසා

යා එවරූපා චණ්ඩදුරුත්තවාදිනි,

.

උපට්ඨකානං අභිභුය්‍යවත්තතී

අයිරා ච භරීයාති ච සා පවුච්චති-යි.

මේ වධක භාර්‍ය්‍යා ය, චෞර භාර්‍ය්‍යා ය, අයිරා භාර්‍ය්‍යා ය යි දැක්වූ පාප ස්ත්‍රී තුන් දෙන දුශ්ශීල ව වාක්පරුෂයෙන් යෙදී පුරුෂයන්ට අනාදර කළාවූ මිත්‍රද්‍රෝහ සංඛ්‍යාත වූ අකුසල් බෙලෙමින් මිය නරකයෙහි ඉපැද බොහෝ කලක් දුක් ගන්නාහ. එසේ හෙයින් සත්පුරුෂ වූ ස්ත්‍රීන් විසින් එබඳු වූ පාපගුණයන් අහසට පොළොව සේ දුරින් දුරුකොට පුරුෂයන් කෙරෙහි පක්‍ෂපාත ව විසිය යුතු. එයින් වදාළහ බුදුහු:-

යා සා ච භරියා වධකාති පවුච්චති

චොරී ච අයිරාති ච යා පවුච්චති,

.

දුස්සීලරූපා ඵරුසා අනාදරා

කායස්ස භෙදා නිරයං වජන්ති තා-යි.

තවද: මෙහි මාතෘභාර්‍ය්‍යා නම් කවර යත්? යම් ස්ත්‍රී කෙනෙක් රක්‍ෂාකළ ස්වාමීහු කෙරෙහි හැම වේලෙහි ම මවක බඳු වූ අනුකම්පා ඇතියාහු ද, දායාද සම්පත් රක්‍ෂා කරන මවුන් සේ ස්වාමිහු රැස්කළ ධනය රක්‍ෂා කෙරෙද් ද, වේලා නො වරදවා පුරුෂයන් කවන්නාහු ද, පොවන්නාහු ද, උලන්නාහු ද, නාවන්නාහු ද, හැම වේලෙහි ම පුරුෂයන්ගේ සුවදුක්හි ම යෙදී වෙසෙද්ද, ස්වාමිහු පාපයක් කරන වේලෙහි ද, විවාදයක් කරන වේලෙහි ද, එළු සොරකම් - මී සොරකම් - ගෙවද්නා සොරකම් - ආදිවූ

නොකටයුත්තකට නික්මුණු වේලෙහි, “මෙසේ මෙසේ වූ වරද කරා නම් තොප කෙරෙහි නො වසම්හ, අපි අපගේ කුලගෙට යම්හ”යි යනාදීන් තදින් - මොළොකින් නො එක් තෙපුල් කීමෙන් ඒ පාපයෙන් වළකද් ද “කෘෂි වණික් ආදි වූ නිරවද්‍ය කර්‍මාන්ත කරව, රජුන්ට පක්‍ෂපාතව වසව, පෙහෙ වව, බණ අසව, කුසල් කරව” යනාදීන් පුරුෂයන් කුශලධර්‍මයෙහි පිහිටුවා ලද්ද එසේ වූ ස්ත්‍රී නම් ඒ පුරුෂයන්ගේ කුශල් නමැති දෙවියන් ඔවුන්ට අරක්ගෙන සිටුවාලූ මවුන් වැනියහ. ශ්‍රී කාන්තාවන් වැනියහ. දෙවතා දූන් වැනියහ. ඔවුන්ට ශ්‍රී ගෙන දෙන දිව්‍ය මන්ත්‍රයක් වැනියහ. ඔවුන්ගේ අකුසල් නමැති ව්‍යාධීන් සංහිඳුවා දෙන දිව්‍යෞෂධයක් වැනියහ. ඔවුන්ට සැපත් ගෙන දෙන කල්පලතාවක් වැනියහ. මේ ආදි කාරණයෙන් ඒ ස්ත්‍රී මාතෘභාර්‍ය්‍යා හ යි දතයුතු. එයින් වදාළහ:-

යා සබ්බදා හොති හිතානුකම්පිනී

මාතා’ව පුත්තං අනුරක්ඛතෙ පතිං,

තතො ධනං සම්භතමස්ස රක්ඛති

මාතා ච භරියාති ච සා පවුච්චති-යි.

තව ද: මෙහි භගිනී භාර්‍ය්‍යා නම් කවර? යත්; යම් ස්ත්‍රී කෙනෙක් තමන් රක්‍ෂා කළ පුරුෂයන් කෙරෙහි මලුන් බෑයන් කොට සිතා නගුන් බුහුනුන් සේ මහත්වූ භය ලජ්ජාවෙන් හැකිළ හැකිළ උදාර වූ ආදරයෙන් පවත්නාහු ද, “සියලු පුරුෂයන්ගේ ස්ථානාන්තර හා ඵෙශ්චර්‍ය්‍ය හා සම්පත් තමන් පුරුෂයන්ට ම වේ ව”යි සිතන්නාහු ද, පතන්නාහු ද, පරපුරුෂයන් කෙරෙහි ලෝභ නො කරන්නාහු ද, ස්වාමිපුරුෂයන් කෙරෙහි ම ඇලුම් ඇත්තාහු ද, එසේ වූ ස්ත්‍රී නම් ඒ පුරුෂයන්ගේම පිනින් දෙවියන් ඔවුන් කරා එවාලූ නඟුන් බුහුනුන් වැනියහ, මේ ආදි කාරණයෙන් ඔහු භගිනි භාර්‍ය්‍යා නම් වන්නාහයි දතයුතු. එයින් වදාළහ:

යථා’පි ජෙට්ඨා භගිනි කනිට්ඨා

සගාරවා හොති සකම්හි සාමිකෙ,

හිරීමතා භත්තු වසානුවත්තිනී

භගිනී ච භරියාති ච සා පවුච්චති-යි.

තව ද: මෙහි සඛී භාර්‍ය්‍යා නම් කවර යත්? යම් කල්‍යාණ වූ ස්ත්‍රී කෙනෙක් තමන් රක්‍ෂා කළ පුරුෂයන් බැහැර ගිය කල්හිදූ එක්වන් සිහි කොට කොට හිඳිනාහුද, ඔවුන් එන මඟ එක්වන් බලන්නාහුද, හැම වේලෙහි ම ඔවුන්ට මමායනය කරන්නාහු ද, තමන් පුරුෂයන්ගේ සරුපයක් ඇසූකල්හි හිරුරැස් දුටු පියුමක් සේ අති සන්තෝෂ වන්නාහු ද, තමන් පුරුෂයන්ගේ දර්ශනයෙහි දූ ඉතා සන්තෝෂ වන්නාහු ද, තමන් පුරුෂයන්ගේ සතුරන් මිතුරු කොට නො වසන්නාහු ද, මිතුරන් සතුරු කොට නො වසන්නාහු ද, සතුරන් සතුරු කොට ම - මිතුරන් මිතුරු කොට ම වසන්නාහු ද, තමන් පුරුෂයන්ගේ නුගුණයක් ඇසූ කල නුගුණ සඟවා ගුණයෙහි ම පිහිටුවන්නාහු ද, පුරුෂයන්ට ආක්‍රොශ කරන්නවුන් නවතන්නාහු ද, ගුණ කියන්නවුන්ට ප්‍රශංසා කරන්නාහු ද, තමන් පුරුෂයන්ගේ ගුණ හා බල වික්‍රම අනුන්ට හඟවන්නාහු ද, තමන් ඇසූ රහස් තමන් තමන් පුරුෂයන්ට නො සඟවා කියන්නාහු ද, පුරුෂයන් කී රහස් ධන සේ රක්‍ෂා කරන්නාහු ද, අභවයෙහි ශෝක කරන්නාහු ද, විභවයෙහි සන්තෝෂ වන්නාහු ද, උතුම් වූ භෝජන පුරුෂයන් සිහිකොට කොට අනුභව කරන්නාහු ද, ඔවුන්ටත් මේ ලැබේවයි සිතන්නාහු ද, එසේ වූ ස්ත්‍රී නම් පුරුෂයන්ගේ කුසල් නමැති දෙවියන් පාවාදුන් යෙහෙළියන් වැනියහ, මේ ආදි කාරණයෙන් ඔහු සඛී භාර්‍ය්‍යා නම් වන්නාහ යි දතයුතු. එයින් වදාළහ:

යා’චීධ දිස්වාන පතිං පමොදිතා

සඛී සඛාරං ව විරස්සමාගතං,

කොනීධසා සීලවතී පතිබ්බතා

සඛී ච භරියාති ච සා පවුච්චති-යි.

දාසි භාර්‍ය්‍යා නමුදු කවර? යත්; යම් ස්ත්‍රී කෙනෙක් තමන් තමන්ගේ වල්ලභයන් කොසා නිග්‍රහයක් කළත්, වධ දණ්ඩනාදී පීඩා කරතත් පුරුෂයන් කෙරෙහි ද්වේෂ නො කරන්නාහුද ක්‍රෝධයෙන් නො බලන්නාහු ද, නොකිපී ම බලන්නාහු ද, සියලු කර්මාන්තයෙහි නො කුසී ව අප්‍රමාද වන්නාහු ද, අතිචාරාදි පාපයෙන් දුරු ව වසන්නාහු ද, පුරුෂයා පළමුව කවා පොවා ආශ්‍රිත ජනයනු දු සන්හිඳුවා, තුමූ පසුව අනුභව කිරීමෙන් සුචිපවිත්‍ර වූ කර්මාන්ත කිරීමෙන් ස්වාමිහු පළමු කොට සතපා සියලු සංවිධාන කොට, තුමූ පසුව සැතපීමෙන්, ස්වාමිහට පළමු කොට හොත් පොළින් පැනනැගීමෙන්, පුරුෂයන්ට වඤ්චා නො කිරීමෙන්, කී වියදමක් ම කිරීමෙන් ශුචි පවිත්‍ර වූ කර්‍මාන්ත කිරීමෙන්, ස්වාමිහු ගුණ පරජනයන්ට ප්‍රකාශ කිරීමෙන් නානා විධ වූ නිහතමාන ගුණයෙන් මුක්තයාහු ද, එසේ වූ ස්ත්‍රී නම් පුරුෂයන්ගේ පින්බලයෙන් පහළ වන හෙයින් කුසල් නමැති දෙවියන් පාවා දුන් දාසීන් ම වැනියහ, අකුසල් නමැති ශරනිවාරණයට ඕහට ඵලකා යුධයක් වැනියහ, මේ ආදි කාරණයෙන් ඔහු දාසි භාර්‍ය්‍යා නම් මේ වන්නා හයි දත යුතු එයින් වදාළහ:

අදුට්ඨියන්තා වධ දණ්ඩතජ්ජිතා

අදුට්ඨචිත්තා පතිනො තිතික්ඛති,

අක්කොධනා භත්තු වසානුවත්තිනී

දාසී ච භරියාති ච සා පවුච්චති-යි.

මෙ කී මාතෘ භාර්‍ය්‍යාවෝ ය, භගිනි භාර්‍ය්‍යාවෝ ය, සඛි භාර්‍ය්‍යාවෝ ය, දාසී භාර්‍ය්‍යාවෝ ය යි කල්‍යාණ වූ ස්ත්‍රීහු සතරදෙන අසාධාරණවූ ආචාරශීලයෙන් හා පතිපූජාවෙන් යෙදුනා වූ ගුණබලයෙන් මේ ජාතියෙන් මිය අපාය ඇසින් නො දක්නාහ, දෙව්ලොවම උපදනාහ, රූපයෙන් යශසෙන් අග්‍රව දිව්‍යරාජයන්ට ම අගමෙහෙසින් ව ශ්‍රීසම්පත් විඳිනාහ යි දැන කල්‍යාණ වූ ස්ත්‍රීලෝකයා විසින් එබඳු වූ ගුණගණාංගයෙන් යෙදී දිව්‍යලෝක මනුෂ්‍ය ලෝක සම්පත් හස්තප්‍රාප්ත කොට කෙළවර නිවන් සම්පත් සාක්ෂාත් කට යුතු. එයින් වදාළහ බුදුහු:

යා චී’ධ මාතා භගිනී සඛී ච

දාසී ච භරියාති ච යා පවුච්චති,

සීලෙ ඨිතත්තා චිරරත්තසංවුතා

කායස්ස භෙදා සුගතිං වජන්ති තා–යි.

පින්වත්වූ ස්ත්‍රී පුරුෂයෙනි! දිව්‍ය දිව්‍යාංගනාවෙනි! මම වනාහි මේ සංසාරයෙහි ඇවිදිනා කල මාගේ මේ ගෞතම නම් බුදුරජාණන්ට කලෙකත් වධක භාර්‍ය්‍යා නො වීමි. චෞර භාර්‍ය්‍යා නො වීමි. ස්වාමී භාර්‍ය්‍යා නො වීමි. කෝටිගණන් ජාතියෙහි මාතෘ භාර්‍ය්‍යා ව උපන්මි. භගිනි භාර්‍ය්‍යාව උපන්මි. සඛී භාර්‍ය්‍යා ව උපන්මි. දාසී භාර්‍ය්‍යා ව උපන්මි. ඔබගේ පාරමිතා ලිය දලු ලවා දිනිමි. ඒ පිනින් මම ද ඔබ සේ ම තේරස අභව්‍ය ස්ථානාදි අකුශලභූමියෙක නූපන්මි. දිව්‍යලෝක-මනුෂ්‍යලෝකයෙහි බොහෝ කලක් සුව විඳ ඇවිද්දෙමි. මෙ දෑතුරෙහි අනික් ස්වාමියකු ප්‍රාථිනාත් නො කෙළෙමි, ස්වාමිදරුවෝ ද මා විනා අන්‍ය ස්ත්‍රියක වල්ලභ නො කළ සේක. ඔබ හා සමඟ ම මද්‍රි නම් අගබිසෝ ව, පාරමිතා සාගරයෙන් නැඟී ගොස් තුසීපුරෙහි ඉපැද, එයින් ඔබ හා සමඟ ම අවුත් මිනිස්ලොව ඉපැද මහත් වූ ශ්‍රී සම්පත් විඳ, ඔබ කෙරේ ම මහණ ව අමාමහ නිවන් දිටිමි; සත්ත්‍වයෙනි! ආකාශයෙහි හිඳ බ්‍රහ්මරූපයෙන් මේ ධර්මදේශනා කළාවූ මම දෙවි බඹ කෙනෙක් නො වෙමි, ඔබ ගම වසන කල අගමෙහෙසිනි වූ බිම්බා දේවී නමුදු මම් ම ය යි හඬගා කියා, බුදුකෙනකුන් සේ ආකාශයෙහි ම වැඩහිඳ බණ වදාරා තමන් වහන්සේගේ දේශනා මහිම හා චිත්‍ර කථික චූ වාක් ලීලා දක්වා මුළුලොව විස්මය පත් කළ දෑ ය.

එ වේලෙහි සියලු දිව්‍ය මනුෂ්‍යයන්ට බුද්ධලීලායෙන් ඔබ කළ දේශනා හා සියලු සතුන්ට උපන් සන්තෝෂ හා තුඩ තුඩ දුන් සාධුකාර හා සියලු ස්ත්‍රී පුරුෂ ලෝකයාගේ මුඛ නමැති පද්මයන් ප්‍රබෝධ ව, ශ්‍රද්ධා නමැති පවනින් සාධුනාද නමැති මුවරද පෙළ පෙළ දිදී, තුන්ලොව පුරාගත් ලෙස් මා සිතට වැටහෙන්නා සේ, දහම් ඇසින් මට විශේෂයෙන් පෙනෙන්නා සේ සියලු සත්ත්‍වයන්ට ම දැනුදු විශේෂයෙන් පෙනී ගියේ වී නම්, සිතී ගියේ වී නම්, ඒ පිනින් අපායෙහි නම් දන්නෝ කවුරු ද, දෙව්ලොවට නො නැඟෙන්නෝ කවුරු ද, සංසාර සාගරයෙන් නො ගැළවෙන්නෝ කවුරුද-

දැන් අනාර්‍ය්‍යඥානයෙන් මාගේ බුදුන්ගේ ගුණ විශේෂයෙන් මට පෙනෙන්නා සේ ම, නො එක් ජාතිකෝටියෙහි සියලු සතුන්ට ද කුශලාකුශල ධර්‍මයන් විශේෂයෙන් දක්වාලන තරම් ලොකාර්‍ථචර්යායෙහි යෙදෙම් ව යි ඒකපදික ගාථාවක් අසා සියලු ධර්‍මයන් දන්නා තරම් බුද්ධිචර්යායෙහි මුදුන් පැමිණෙම් ව යි මට මේ සා වැඩක් කළා වූ මවුන් පියන් ගුරුන් වතුන් ආදි වූ සියලු සතුනු දු සංසාරසාගරයෙන් ගොඩනඟා ඥාත්‍යර්‍ථචර්යාව සාක්ෂාත් කොට ලොවුතුරා බුදු ව දම්සක් දෙසන දවස් දක්වා මේ තුණුරුවන් ප්‍රීතිය මා සිතින් නො මිදේ ව යි, නො හැරේ ව යි, ඖෂධයන් භාවිත කොට කකාරා ගත් කිරින් නැගු තෙලෙහි දු ඖෂධ ගුණය නො හැරෙන්නා සේ ම, මා සිතිනු දු නො එක් ජාතියෙහි ශ්‍රද්ධා ගුණ - ශීලගුණ - ප්‍රඥාගුණ - තුණුරුවන් ගුණ එක් කලෙකත් තොර නො වේව යි බුදුබව ම සාක්ෂාත් වේව යි. එයින් කීහ අපදානයෙහි:

සුත්‍වා තං මුනිනො වාචං - භික්ඛුනී සා යසොධරා,

වන්‍දිත්‍වා මුනිරාජං තං - ඉදං වචනමබ්‍රැවි.

.

යසොධරා අහං වීර - අගාරෙ තෙ පජාපති

සාකියම්භි කුලෙ ජාතා - ඉත්‍ථියංගෙ පතිට්ඨිතා.

.

ඉත්‍ථිනං සහස්ස්සානං - නවුතීනං ච ඡඋත්තරිං,

අගාරෙ තෙ අහං වීර - පාමොක්ඛා සබ්බඉස්සරා

.

රූපාචාරගුණූපෙතා - යොබ්බනට්ඨා පියං වදා,

සබ්බා මං අපචායන්ති - දෙවතා විය මානුසා.

.

කඤ්ඤාසහස්සප්පමුඛා - සක්‍යපුත්ත නිවෙසනෙ

සමානසුඛදුක්ඛා තා - දෙවතා විය නන්‍දෙන.

.

කාමධාතුමතික්කන්තා - සණ්ඨිතා රූපධාතුයා,

රූපෙන සදිසො නත්‍ථි - ඨපෙත්‍වා ලොකනායකං,

.

එවමාදීනි වත්‍වාන - උප්පතිත්‍වාන අම්බරං,

ඉද්ධි අනෙකා දස්සෙසි - බුද්ධානුඤ්ඤා යසොධරා.

.

චක්කවාළ සමං කායං - සීසං උත්තරතො කුරුං,

උභො පක්ඛා දුවෙ දීපා - ජම්බුදීපං සරීරතො.

.

දක්ඛීණානං සරං පිඤ්ජං - නානාසාඛා චුපත්තකා,

චන්‍දසුරියවීසාලක්ඛි - මෙරුපබ්බතතො සිඛං.

.

චක්කවාළ ගිරිතුණ්ඩා - ජම්බුරුක්ඛං සමූලකං,

වීජමානා උපාගම්ම - වන්‍දෙතෙ ලොකනායකං.

.

නත්‍ථිවණ්ණං තථෙවාස්සං - පබ්බතං ජලජං තථා,

චන්‍දසූරිය මහාමෙරු - සක්කවණ්ණං ච දස්සයි.

.

යසොධරා අහං වීර - පාදෙ වන්‍දාමි චක්ඛූම,

සහස්සලොකධාතුනං - ථුල්ලපාදෙන ඡාදයී.

.

බ්‍රහ්මවණ්ණඤ්ච මාපෙත්‍වා - ධම්මං දෙසෙසි සඤ්ඤතා,

යශොධරා අහං වීර - පාදෙවන්‍දාමි චක්ඛූමා-යි.

ඉක්බිත්තෙන් ඒ යශෝධරා මහාස්ථවිරීන් වහන්සේ ආකාශයට පැනනැඟී දක්‍ෂ වූ ස්වර්ණකාරයකු එක කසුන් පිඩක් ගෙන නානා ජාතියෙහි ආභරණ විශේෂයන් දක්වන්නා සේ, කුම්භකාරයකු එක මත්තිකා පිණ්ඩයෙන් නානා ජාතියෙහි භාජන විශේෂයන් දක්වන්නා සේ, බුදුමුඛයෙකින් මුත් කියා නිමවාගත නො හැකි යට කී සේ, නො එක් පෙළහර දක්වා බුද්ධලීලායෙන් බණ වදාරා තමන් වහන්සේ වූ පවත් මුළුලොවට අස්වා බුදුන්ට නො එක් ස්තුති පූජා කරවා, සක්විති රජකු කරා ආකාශයෙන් බස්නා සක් රුවනක් සේ, අස්තගිරියට බස්නා පුන් සඳක් සේ, මහපොළොවට බස්නා නකත් තරුවක් සේ, දිව්‍ය විමානයක් සේ, අසමාන වූ පෙළහරින් ආකාශයෙන් බුදුන් හා මහපිරිස් මැදට බැස බුදුන් වැඳ සූර්‍ය්‍යදේවතාවාට අවනත වූ මහපියුමක් සේ, බුදුන්ට අවනත ව දොහොත් මුදුන් දී සිට “ස්වාමීනි! ගෞතම නම් බුදුරජාණෙනි! තුන් ලෝ වාසින්ගේ පෙම්බර පියාණෙනි! මේ සා පෙළහරක් දැක්වූ මම අනික් දෙවිබඹ කෙනකුන්ගේ උපදෙසකින් නො කෙළෙමි, නුඹ වහන්සේගේ උපදෙස් වූ පරිද්දෙන් ම කෙළෙමි, යමකප්‍රාතිහාර්‍ය්‍ය ඥානයෙන් යුක්ත වූ ලොවුතුරා බුදුකෙනෙකුන් සිත් ගෙන පෙළහර කිරීම නම් ඉතා උගහට දෙයෙක: මා පෑවා වූ පෙළහරෙහි, කීවා වූ බණෙහි කිසියම් වරදෙක් වී නමුත් ඒ වරද ක්‍ෂමා කොට වදාළ මැනැව.

ස්වාමිදරුවන්ට සංසාරයෙහි පක්‍ෂපාතවම අවුත් මේ මාගේ අන්තිම වූ දර්ශනය ය; මේ ලෝකයෙහි මා බඳු වූ පින්වත් ස්ත්‍රී කෙනෙක් නැත්තාහ, නුඹ වැනි බුදුකෙනකුන්ට සංසාරයෙහි මා කළ පක්‍ෂපාතකම් පාරමිතාවන් සාදා දුන් ලෙස් මා වැනියන්ගේ දිවැසට පවා දැන් විශේෂයෙන් දැනෙන කල ස්වාමිදරුවන්ගේ බුද්ධ ඥානයට සකසා පෙනේ ම ය. එහි විශේෂ මට පෙනෙන හෙයින්, ස්වාමිදරුවන්ට ද පෙනෙන හෙයින්, ස්වාමිදරුවන් ද, මා ද, කෙලෙස් මුහුදු පිනා සසරින් ගොඩනැඟී සිටි හෙයින්, මෙ තැන්හි කීමෙහි ඵල නැත; එසේ ද වුවත් මෙ තැන්හි රැස්වූ සරාග වූ, පර්ෂදෙහි සැක හරනා නිසාත්, බොහෝ ස්ත්‍රී ලෝකයාට අවවාද නිසාත්, බුද්ධපතිව්‍රතාවන්ගේ ගුණමහිම දක්වනු නිසාත්, මා කෙළෙන් කිසියම් පක්‍ෂපාත කමක් දක්වමි. දැන් මෙ තැන්හි සිට ම සංසාරය බලන්නා වූ මම සසර නො එක් ජාතියෙහි මාගේ ජීවිතය පුදා ස්වාමිදරුවන්ගේ ජීවිතය රක්‍ෂා කරවා දීලු තැන් ම අසංඛ්‍ය ගණන් ජාති දක්මි. සසර නුඹවහන්සේ රජකල, මා අග බිසෝ කල ම මහා වෙස්සන්තර ජාතියෙහි සෙයින් ම, යාචකයන් අවුත් මා ම දන් ඉල්ලූ කල නුඹවහන්සේ මා මුහුණ බැලූ කල්හි කිසි දොම්නසක් නැති ව:

කොමාරිකස්සාහං භරියා - සාමිකො මම ඉස්සරො,

යස්සිච්ඡෙ තස්ස මං දජ්ජා – වික්කිණාතු හනාතු වා−යි.

යන මේ ගාථාවෙන් මා සිංහනාද කොට “ස්වාමිනි! කැමැත්තක්හට මා දන් දී වදාළ මැනවැ”යි කී කල්, එ කෙණෙහි මා අත අල්වා ගෙන මිහිකත හඬව හඬවා යාචකයන්ට දන් දුන්කල් භාර්‍ය්‍යා පරිත්‍යාගයෙහි මුදුන් පැමිණි කල්, දාන පාරමිතාව කුළු ගත් කල් අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද: නො එක් ජාතියෙහි යක්‍ෂ රාක්‍ෂසාදින් වෙස් වළා අවුත් මා ම දන් ඉල්ලූ කල ඔවුන්ට මා`දන් දුන් කල්, ඔවුන් මා සල්ව සල්වා කෑ කල එකල්හි දු මා කිසි දොම්නසක් නො වූ කල්, නො එක් සතුන්ට ගොදුරු නිසා මා ම දුන් කල්, එබඳු තන්හි ද දන්ලියය මා ම මල් ගන්වා දීලු කල් අසංඛ්‍ය ගණන් ජාතී දකිමි. තව ද: නො එක් ජාතියෙහි නුඹවහන්සේ ජීවිත වෘත්තිය නිසා මා විකොට කෑ කල්, මා අනුන්ට දරමිටි පැන්කළ ඇදි කල්, මිඩිමෙහෙ කළ කල්, එබඳු තැන්හි දු නුඹවහන්සේ කෙරෙහි සිහිනෙනුත් මා දොම්නසක් නොවු කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද: සසර නුඹවහන්සේ නොඑක් දණ්ඩනාදියෙහි හසුව මා ම උකස් කොට පාවාදී ගැළවී ගිය කල් අසංඛ්‍ය ගණන් ජාති දක්මි. තව ද: සසර නුඹවහන්සේ උදාර වූ අදහස් ඇති බැවින් ත්‍යාග සඳහා උපකාර සඳහා මා ම පාවාදුන් කල් අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද: සසර නො එක් ජාති ජාතියෙහි නුඹවහන්සේ හා මා හා එක මඟ යන කල්හි සිංහයන් ව්‍යාඝ්‍රයන් දිවියන් වලසුන් කිඹුලන් යක්‍ෂ රාක්‍ෂසයන් ගුගුර ගුගුරා නුඹවහන්සේ කරා දිවු කල්හි දිව ගොස් නුඹවහන්සේ පසු කොට ඔවුන් මුඛයට පැන මා ඔවුන්ට බත් වූ කල්, නුඹවහන්සේ ගේ දිවි රැක දුන් කල්, මාගේ ජීවිතයට නො සිතා නුඹවහන්සේගේ ජීවිතයට දිවි රැකම සිතු කල්, අසංඛ්‍ය ගණන් ජාති දක්මි.

එ කල “ස්ත්‍රියකගේ ජීවිතය දීලා මා වැනියෝත් දිවි රකිද්දැ”යි නුඹවහන්සේ ද මා ම නිසා දිවි දුන් කල් අසංඛ්‍ය ගණන් ජාති දක්මි. තවද සංසාරයෙහි යක්‍ෂ-රාක්‍ෂසාදින් නුඹවහන්සේ අල්වා ගෙන නො එක් පීඩා කරන කල්හි මාගේ ජීවිතය ඔවුන්ට බිලියම් කොට දී නුඹවහන්සේගේ ජීවිතය රක්‍ෂා කළ කල්, නො එක් ආබාධයෙන් මිදූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දක්මි. තවද: බුදුරජාණෙනි! නුඹවහන්සේ සංසාර දෝෂයෙන් ඒ ඒ අන්‍දුබන්‍ධනාදියට පැමිණි කල්හි එහි මා උකස් ව උන් කල්, ඒ ඒ දුකින් නුඹවහන්සේ ගැළවූහු කල්, මා ම ඒ දුක් වූන් කල්, අසංඛ්‍ය ගණන් ජාති දක්මි. තවද: සසර නුඹවහන්සේ නොඑක් වධයට පැමිණි කල්හි ඒ වධ මට පමුණුවා ගත් කල්, නුඹවහන්සේ ගොඩනැඟූ කල්, එම පක්‍ෂපාතකමෙහි ප්‍රසන්නවූ වධකයන් ලවා මා ද ගැලවී මාගේ ගුණ බෙලෙන්ම අප දෙදෙනා ම සුවපත් වූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි.

තව ද: සසර නුඹවහන්සේ මා හැර ගොස් පරස්ත්‍රීන් කෙරෙහි හසුව නො එක් වධයට පැමිණි කල්හි එබවු අසා කාමක්‍රෝධයක් නැතිව පුත්‍රයක්හුගේ ආපදායෙක්හි කම්පිත වන මවක සේ, මහ හඬින් හඬ හඬා එ තෙනට ගොස් මා පලන් වස්ත්‍රාභරණ ඔවුන්ට අත්ලස් කොට දී නුඹවහන්සේ ගලවා ගත් කල්, මාතෘ භාර්‍ය්‍යා වූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද: සසර නුඹවහන්සේ මාරුයෙහි මා විකුණුම් කා දෑස් වූ කල්, නුඹවහන්සේ නිදහස් වූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද: සසර නුඹවහන්සේ ම නිසා, නුඹවහන්සේ ම පතා, හන් පලන් වසත්‍රාභරණ දක්වා පරිත්‍යාග කළ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද: සසර කෝටිගණන් සම්පත් හැර කුල නෑයන්ට සොරා එකලාව ම නුඹ වහන්සේ පසු පස්සෙහි පලාගිය කල්, සිය අතින් මෙහෙ කොට කෑ කල්, බැලමෙහෙ කොට නුඹවහන්සේට ගෙනා කල්, නුඹවහන්සේ ද බැල මෙහෙ කොට මා රක්‍ෂා කළ කල්, අසංඛ්‍ය ගණන් ජාති දක්මි. තවද: සසර නුඹවහන්සේ දන් පැරුම් පුරන කල, ගේ පිරුණු සම්පත් අසඞ්ඛ්‍ය ගණන් ජාතියෙහි දින්මි, ගම් පිරුණු පිරිවර හා ගව මහිෂාදීන් අසංඛ්‍ය ගණන් ජාතියෙහි දිනිමි. වී පිරුණු බද්ධසල් දිනිමි. රාජ්‍ය දිනිමි. හස්ති-අශ්ව-රථ-වාහන අසංඛ්‍ය ගණන් ජාතියෙහි දිනිමි.

තවද: සසර මා ම කුසින් වැදූ දරුවන් නුඹවහන්සේ යාචකයන්ට බැඳ පාවාදුන් කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. එ දරුවන් දන් දෙන කල ඒ ඒ දිග්හි දිව පියන් අතට හසුනොවන කල්හි කිරි පොවන නළවන පසාරයෙන් දරුවන් අල්වාගෙන නුඹවහන්සේට දරුවන් පාවා දීලූ කල්, එ දරුවන්ට මා දැඩිකම් කළ කල්, නුඹවහන්සේට මා කීකරු වූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. එ දරුවන් දන් දුන් කල නැවත දරුවන් වදා දුන් කල්, නුඹවහන්සේ දන්සොඬව එ දරුවනු දු නැවත නැවත යාචකයන්ට දෙන කල මා කිසි දොම්නසක් නොවූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තව ද: සසර නුඹවහන්සේ සියලු සැපත් යාචකයන්ට දන් දී තව ද: දන්සොඬ ව මා පලන් පලඳනා පවා ගලවා දෙන කල මා දොම්නසක් නොවු කල්, සොම්නසින් ම පින පිනා සිටි කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද; සසර සක්විති රාජ්‍යය හැර, තපසට වල යන කල්හි මා ද එක්ව ම ගොස් තපස් කළ කල්, නුඹවහන්සේ පන්සලින් බැහැරට යා නො දී වන මුල් වන පලාපල පැස් පුරා මා හිසින් ම ඇදිකල්, සීල පාරමිතාව මා ම කුළු ගන්වා දෙවාලු කල් අසංඛ්‍ය ගණන් ජාති දකිමි.

මේ ආදී කාරණයෙන් මා කළා වූ පක්‍ෂපාතකම් හා ගත් දුක් හා පාරමිතාවන් සාදා දුන් ලෙස් මා වැනියන්ගේ දිවැසට පවා පෙනෙන කල ස්වාමිදරුවන්ගේ බුද්ධඥානයට විශේෂයෙන් පෙනෙන්නේ ම ය. බුදු ඇසිනු දු බලා වදාළ මැනැවැ යි යනාදීන් සසර තමන් වහන්සේගේ පුරුදුකම් දක්වා, නොඑක් ජාති දක්නා නුවණ මහපිරිසට හඟවා සිංහරාජයක්හු පෙරටව සිටි අභීත සිංහ ධේනුවක් සේ බුදුන් පෙරටව වැඩසිට අභීත සිංහනාද කළසේක. එයින් කීහ අපදානයෙහි:

යාමය්හං පුරිමං කම්මා - කුසලං සරසෙ මුනෙ,

තුය්හත්‍ථාය මහාවීර - පුඤ්ඤං උපචිතං මයා.

.

අභබ්බට්ඨානෙ වජ්ජිත්‍වා - පාචයන්තං අනාවරං,

තුය්හත්‍ථාය මහාවීර - සඤ්චත්තං ජීවිතං මයා.

.

නෙකකොටි සහස්සානි - භරියත්‍ථාය‘දාසි මං,

න තත්‍ථ විමනා හොමි - තුය්හත්‍ථාය මහාමුනෙ.

.

නෙකකොටි සහස්සානි - භොජනත්‍ථාය‘දාසි මං,

න තත්‍ථ විමනා හොමි - තුය්හත්‍ථාය මහාමුනෙ.

.

නෙක කොටි සහස්සානි - උපකාරය‘දාසි මං,

න තත්‍ථ විමනා හොමි - තුය්හත්‍ථාය මහාමුනෙ.

.

නෙක කොටි සහස්සානි - ජීවිතානි පරිච්චජිං,

භයමොක්ඛං කරිස්සන්ති - චජාම මම ජීවිතා.

.

අඞ්ගගුත්තෙ අලංකාරෙ - වත්‍ථෙ නානාවිධෙ බහු,

ඉත්‍ථිභණ්ඩෙ න ගුය්හාමි - තුය්හත්‍ථාය මහාමුනෙ.

.

ධනධඤ්ඤපරිච්චාගං - ගාමානි නිගමානි ච,

ඛෙත්තා පුත්තා ච ධීතා තෙ - පරිච්චත්තා මහාමුනෙ.

.

හත්‍ථි අස්සා ගවා චාපි - දාසියො පරිචාරිකා,

තුය්හත්‍ථාය මහාවීර - පරිච්චත්තා අසංඛියා.

.

යං මය්හං පතිමන්තෙසි - දානං දස්සාමි යාචකෙ,

විමනං මෙ නපස්සාමි - දදතො දානමුත්තමං.

.

නානාවිධං බහුදුක්ඛං - සංසාරෙ ච බහුබ්බිධෙ,

තුය්හත්‍ථාය මහාවීර - අනුභුත්තං අසංඛියං.

.

සුඛප්පත්තා න මොදාමි - න ච දුක්ඛෙ ච දුම්මනා,

සබ්බත්‍ථ තුලිතා හොමි - තුය්හත්‍ථාය මහාමුනෙ-යි.

මෙසේ උන්වහන්සේ තමන්වහන්සේගේ සසර පක්‍ෂපාතකම් හා පුරුදුකමින් සිංහනාද කළකල්හි, මහපිරිස සාධුකාර දී මහත් වූ උත්සව කොට “කිමෙක් දෝ හෝ මුන්වහන්සේ සසර මෙසේම බුදුන්ට පක්‍ෂපාතව දැනුදු සෘද්ධි සම්පත්-නිර්‍වාණ සම්පත් මෙසේ ම උදාර ව ලැබීමට පූර්වයෙහි කෙසේ වූ කුශලයක් කළසේක් දෝ හෝ”යි ශඞ්කා ඉපැදවූහ. එ වේලෙහි ස්වාමි දරුවෝ මහපිරිස සිතූ සිත් දැන “යශෝධරා ස්ථවිරීනි, තොප බුදුන්ට පක්‍ෂපාත වීමට පූර්‍ව ප්‍රණිධිය දක්වා තොපගේ පර්ෂදට උපන් කාංක්‍ෂාවන් තොපි ම දුරුකරව”යි වදාළසේක. එ වේලෙහි උන්වහන්සේ “ස්වාමිදරුවෝ මාගේ පූර්‍වප්‍රනිධිය ද මා ම ලවා කියවන අභිප්‍රාය ඇති සේක් වනැ”යි සිතා බුදුන් වැඳ සිට මහ පිරිස දිසාව බලා “සත්වයෙනි! මා ස්වල්ප වූ පින් කළ ස්ත්‍රියක් ය යි නො සිතව, මා බඳු වූ හේතු සම්පත් ඇති කෙනෙක් මේ බුද්ධෝත්පාදයෙහි නැත. කාරණ කිම යත්? අසූමහ සවුවෝ කප්ලක්‍ෂයක් පැරුම් පුරා ආහ, අගසවුවෝ එකාසංඛ්‍යය කප්ලක්‍ෂයක් පැරුම් පුරා ආහ, මම වනාහි දුරෙ නිදානයෙහි පටන් මේ සාරාසංඛ්‍යය කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි ස්වාමිදරුවන් හා සමඟ ම පාරමිතා පුරා අයිමි. ඊට පළමු බ්‍රහ්මදෙව නම් ගෞතම බුදුන් දැක ඔබ මනොප්‍රණිධි ලබන සමයෙහි දු ඔබ හා එක්ව ම අයිමි.

යශෝධරාවන් සූවිසි බුදුවරයන්ගෙන් ලත් විවරණ කථා

පසුව ඔබ හා එක්ව දිවකුරු නම් බුදුන් දැක සුමෙධ නම් මහ තවුස් ව සුවන් මේ කඳුරෙහි දී අෂ්ටාංග ධර්‍මයෙන් යෙදී පළමු වන විවරණශ්‍රී ලබන සමයෙහි මම වනාහි බමුණු මහසල් කුලයෙහි සුමිත්‍රා නම් ධනමානවිකාව ඒ බුදුන් ගිහිගෙයි වසන කල ඔබට

අගමෙසෙින් වූ පදුමා නම් බිසොවුන්ගේ අසුරියන් ගෙයි පහන් නො ලන ශරීරප්‍රභා හා එ බුදුන් හා එක්වැනි වූ උසභක්ඛන්ධ නම් පුතණුවන් වහන්සේගේ වික්‍රම හා නොඑක් පෙළහර දැක, මම ද එබඳු වූ පින් ප්‍රාර්ථනා කොට සැපත් හැර වල් ගොස් තවුස් වෙස් ගෙන සුමිත්‍රා නම් පරිබ්‍රාජිකාව සිල් රක්ෂා කරනුයෙම් එ දවස් මහනෙල් මල් අටමිටක් ගෙන බුදුන් පෙරමඟට ගොස් මුන්වහන්සේට එ බුදුන්:

පස්සථ ඉමං තාපසං - ජටිලං උග්ගතාපනං,

අපරිමෙය්‍ය ඉතො කප්පෙ - අයං බුද්ධො භවිස්සති.

යනාදීන් විවරණ පතුල් දෙන සමයෙහි මම ද චිරානුගත වූ විශ්වාසයෙන් ඔබ කෙරෙහි පෙම් බැඳ, එ මල් අටකලබින් පස්කලබක් මුන්වහන්සේ නමට පුදා තුන් කලබක් මා නමට පුදා “මම මේ වීරපුරුෂයාණන්ට සංසාරයෙහි පක්‍ෂපාතව වෙසෙම්ව යි, ඔබ ගේ පාරමිතාවට අනුබල වෙම්වයි, බුදුන් මේ විවරණ කථාවෙහි වදාළ යශෝධරා නම් නම මට ම වේව යි, ඒ රාහුල නම් පුත්රුවන මා කුසින් ම වදා දෙම්ව”යි කියා ප්‍රාර්ථනා කෙළෙමි. ඒ දීපඞ්කර නම් බුදුහු එ කෙණෙහි ම මට ද විවරණ දුන්සේක. මමද එතැන් පටන් ඔබ හා සමඟ නිධානයක් රක්‍ෂා කරන්නියක සේ ඔබගේ පාරමිතා නමැති මහානිධානය රක්‍ෂා කොට දිනිම් ම ය. මෙසේ දූරෙ නිධානයෙහි දී ම මම ද ඔබ ප්‍රාර්ථනා කෙළෙම් ම ය.

තව ද: ඔබ කොණ්ඩඤ්ඤ නම් බුදුන් දැක විජිතාවී නම් චක්‍රවර්ති රජ ව දිව්‍යසමාන වෙහෙරකදී, තුන්මසක් අසදෘශ මහ දන් දී, දෙවන විවරණ පූජාව ලත් සේක. එසමයෙහි, මම සුවාසූදහසක් බිසෝවරුන් පිරිවරා ඒ දානය මා සිය අතින්ම පිස දී මම ද මුන් වහන්සේ ම ප්‍රාර්ථනා කෙළෙමි. තව ද: මඞ්ගල නම් බුදුන් සමයෙහි ඒ බුදුන් දැක සුරුචි නම් බ්‍රාහ්මණ ව දොළොස් යොදුන් මණ්ඩපයෙක දී බුදුපාමොක් මහ රහතන්ට සත් දවසක් මුළුල්ලෙහි අසදෘශවූ චතුමධුර දානයදී තුන්වන විවරණ පූජාව ලත් සමයෙහි මමද ඔබට ප්‍රජාපති වූ බ්‍රාහ්මණ මහාසාරිකා ව මා සිය අතින් ඒ දානය පිස දී මම ද මුන්වහන්සේ ම ප්‍රාර්ථනා කෙළෙමි. තව ද: සුමන නම් බුදුන් දැක අතුල නම් දිව්‍යනාග රාජන් ව ඉපද සඳමඬුලු සා මඩුවෙක දී අසදෘශ වූ දිව්‍ය දානය සත් දවසක් දී ඔබ බුදුබවු පැතූ සතරවන විවරණ පූජාව ලත් සමයෙහි, මම ද ඔබට ම අගමෙහෙසින් ව කෝටිගණන් නාගාඞ්ගනාවන් පිරිවරා කෙළගණන් කඩුපුල් මල් මිටි පිටින් පුදා ඒ සද්දා මුළුල්ලෙහි බුදුන් රහතන්ට දිව්‍යනෘත්‍යාදියෙන් පුදා මම මුන්වහන්සේ ම ප්‍රාර්ථනා කෙළෙමි.

තව ද: රෙවත නම් බුදුන් දැක අතිදෙව නම් බ්‍රාහ්මණ ව උතුරුසළුයෙන් පුදා දහසක් ග්‍රන්‍ථරචනාවෙන් ඒ බුදුන්ට ස්තුති ගී කියා බුදු වෙම්ව යි පතා පස්වන විවරණ පූජාව ලත් දවස්, මම ද ස්වාමිදරුවන්ට ප්‍රජාපතිව එ පින්හි දු සමාදන් ව ස්වාමිදරුවන්ම ප්‍රාර්ථනා කෙළෙමි. තව ද සොහිත නම් බුදුන් දැක සුජාත නම් මහ බමුණු ව තුන්මසක් අසදෘශ මහදන් දී සවන විවරණ පූජාව ලත් සමයෙහි, මම ද ඒ දානය මා සිය අතින් පිස දී මෙම බුදුරජාණන් ප්‍රාර්ථනා කෙළෙමි. තව ද: ඔබ මහේශාඛ්‍ය වූ යක්‍ෂරාජන් ව නො එක් යක්සෙන් පිරිවරා ගොස් අනෝමදස්සී නම් බුදුන් දැක සත් දවසක් දිව්‍යදානය දී සත්වන විවරණ පූජාව ලත් සමයෙහි මම ද අගමෙහෙසින් ව දිව්‍යාඞ්ගනාව ඒ දානයෙහි දු සමාදන් ව මෙම ස්වාමිදරුවන් ම ප්‍රාර්ථනා කෙළෙමි. තව ද: සිංහරාජන් ව ඉපැද වෙනෙහි ඇවිදිනා කල පදුම නම් බුදුරජාණන් දැක සත් දවසක් අනිමිස ලෝචන පූජා කොට ඔබ අටවන විවරණ පූජාව ලත් දවස්, මම සිංහ ධෙනු ව ඔබ හා අනුව ම සිට මුන්වහන්සේ ම ප්‍රාර්ථනා කෙළෙමි. තව ද: නාරද නම් බුදුන් දැක උග්‍ර තාපස ව සත්දවසක් සෘද්ධි දානය දී මුන්වහන්සේ නවවන විවරණ පූජාව ලත් දවස්, මම ද පරිබ්‍රාජිකාව එ පින්හිදු සමාදන් ව මුන්වහන්සේ ම ප්‍රාර්ථනා කෙළෙමි.

තව ද: පියුමතුරා නම් බුදුන් සමයෙහි ජටිල නම් මහරැටිව මහදන් දී පසුව දා බුදුපාමොක් මහසඟ පිරිසට සියලු පරිෂ්කාර දානය දී බුදු බවු පතා මුන්වහන්සේ දසවන විවරණ පූජාව ලත් දවස්, මම ද ප්‍රජාපතී ව මුන්වහන්සේ ම ප්‍රාර්ථනා කෙළෙමි. තව ද: සුමේධ නම් බුදුන් දැක උත්තර නම් මානවක ව. එක දා අසු කෙළක් ධන බුදුන්ට පුදා බුදුන් කෙරෙහි මහණ ව එකොළොස්වන විවරණ පූජාව ලත් සමයෙහි මම ද ඔබ හා සමඟ ම මහණ ව ඔබ ම ප්‍රාර්ථනා කොට සිල් රක්ෂා කෙළෙම් ම ය. තව ද: සුජාත නම් බුදුන් දැක චක්‍රවර්ති රජ ව සක්විති රජය පුදා මහණ ව දොළොස්වන විවරණ පූජාව ලත් දවස්, මම ද සුවාසූ දහසක් බිසෝවරුන්ට අධිපති වූ ස්ත්‍රීරත්න ව ඔබ හා සමඟ ම මහණ ව ඔබ ම ප්‍රාර්ථනා කොට සිල් රක්ෂා කෙළෙම් ම ය.

තව ද: පියදස්සී නම් බුදුන් දැක කාශ්‍යප නම් ධන මානවක ව කෙළ ලක්‍ෂයක් ධන විසඳා සඞ්ඝාරාමයක් කරවා බුදුන්ට පිළිගන්වා විහාර පූජා කොට ඔබ තෙළෙස් වන විවරණ පූජාව ලත් දවස්, මමද එම වෙහෙර පිළිගන්වා ඔබට පතිනී ව එ පින්හි දු සමාදන් ව ඔබ ම ප්‍රාර්ථනා කෙළෙම් ම ය. තවද ඔබ සුසීම නම් මහ තවුස් ව පරසතු මඳාරා මල් පූජාවෙන් අත්‍ථදස්සි නම් බුදුන් පුදා තුදුස්වන විවරණ පූජාව ලත් දවස්, මම ද පරිබ්‍රාජිකා එ තැන්හි ම සිට ඔබ ම ප්‍රාර්ථනා කෙළෙම් ම ය. තව ද: ඔබ ශක්‍රදේවේන්‍ද්‍ර ව ශක්‍ර සම්පත්තීන් ධම්මදස්සි නම් බුදුන් පුදා පසළොස් වන විවරණ පූජාව ලත් දවස්, මම ද අඩුතුන් කෙළක් දෙවඟනන් පිරිවරා අවුත් ඔබ ම ප්‍රාර්ථනා කෙළෙම් ම ය. තව ද: මඞ්ගල නම් මහ තවුස් ව ජම්බුඵල දානයෙන් සිද්ධාර්ථ නම් බුදුන් පුදා සොළොස් වන විවරණ පූජාව ලත් දවස්, මම ද අඩුතුන් කෙළක් පරිබ්‍රාජිකාවන්ට නායක ව සිල් රක්‍ෂා කොට මුන්වහන්සේ ම ප්‍රාර්ථනා කෙළෙම් ම ය. තවද: ඔබ සුජාත නම් මහරජ ව රාජ්‍යසම්පත්තීන් තිස්ස නම් බුදුන් පුදා මහණ සතළොස් වන විවරණ පූජාව ලත් දවස්, මම ද අගමෙහෙසීන් ව ඔබ ම හා සමඟ මහණ ව ඔබ ම ප්‍රාර්ථනා කොට සිල් රක්‍ෂා කෙළෙම් මය. තව ද: විජිතාවි නම් රජ ව මුළු දඹදිව රාජ්‍යයෙන් ඵුස්ස නම් බුදුන් පුදා අටළොස් වන විවරණ පූජාව ලත් දවස්, මම ද ඔබ හා සමඟ මහණ ව ඔබ ම පත පතා සිල් රක්‍ෂා කෙළෙම් ම ය.

තව ද: ඔබ අතුළ නම් දිව්‍ය නාගරාජන් ව පනස් යොදුන් දිව්‍යමණ්ඩපයෙක දී සත් දවසක් මුළුල්ලෙහි දිව්‍ය දානයෙන් විපස්සි නම් බුදුන් පුදා එකුන්විසි වන විවරණ පූජාව ලද දවස්, මම ද අගමෙහෙසින් වූ නාගාඞ්ගනාව සුචහස් නාගකන්‍යාවන් පිරිවරා සද්දා මුළුල්ලෙහි බුදුන්ට උපකාර කොට මුන්වහන්සේ ම ප්‍රාර්ථනා කෙළෙම් ම ය. තව ද: අරින්‍දම නම් රජ ව මහත් වූ රාජඍද්ධීන් සිඛී නම් බුදුන් පුදා විසි වන විවරණ පූජාව ලද දවස්, මම ද අග බිසෝව ඒ දානය පිස දී සිය අතින් බුදුන් සඟුන් වළඳවා මුන්වහන්සේම ප්‍රාර්ථනා කෙරෙම් මය. තව ද: සුදර්ශන නම් රජ ව රජ මහාවිහාර දාසක් කරවා පිළිගන්වා වෙස්සභූ නම් බුදුන් පුදා රජය හැර එක් විසිවන විවරණ පූජාව ලද දවස්, මම ද අගමෙහෙසින් ව ඒ දානය සිය අතින් දී මහණ ව සිල් රක්‍ෂා කොට ඔබ ම ප්‍රාර්ථනා කෙළෙම් ම ය. තව ද: ඛේම නම් නරපති ව රාජ්‍ය දානයෙන් කකුසඳ නම් බුදුන් පුදා දෙවිසි වන විවරණ පූජාව ලද දවස්, මම ද අගමෙහෙසින් ව එ තැන්හි දී ම මහණ ව සිල් රක්ෂා කොට ඔබ ම ප්‍රාර්ථනා කෙළෙම් ම ය. කෝණාගම නම් බුදුන් සමයෙහි තව ද: පර්‍වත නම් නරේන්‍ද්‍ර ව වස් තුන් මස් බුදුන්ට අසදෘශ මහදන් දී බුදුපාමොක් දානය දී තෙවිසි වන විවරණ පූජාව ලද දවස්, මම ද අගබිසෝ ව දානසංවිධානය කොට ඔබ ම ප්‍රාර්ථනා කෙළෙම් ම ය. තව ද: ජෝතිපාල නම් බ්‍රාහ්මණ ව ධන පමණින් කාශ්‍යප නම් බුදුන් පුදා මහණ ව සූවිසි වන විවරණ පූජාව ලද දවස්, මම ද බ්‍රාහ්මණ මානවිකා ව ඔබ හා සමග ම මහණ ව විසිදාසක් හවුරුදු සිල් රක්‍ෂා කොට ඔබ ම ප්‍රාර්ථනා කෙළෙම් මය. එසේ හෙයින් සත්ත්‍වයෙනි! මම ස්වල්ප වූ පිනක් කෙළෙම් නො වෙමි, මේ මාගේ බුදුරජාණන් වහන්සේ යම් යම් බුදුකෙනෙකුන් දැක යම් යම් පිනක් රැස්කළ සේක් වී නම්, මම ද ඔබ හා සමඟ ම ඒ ඒ බුදුන් දැක වෙන වෙන ම ප්‍රාර්‍ථනා කළෙමි. එසේ හෙයින් සංසාරයෙහි ඔබට පක්‍ෂපාතව ම විසීමි, පාරමිතා ලතාව මල් ගන්වා දෙවාලීමි. දැන් මේ ජාතියෙහි ඔබට ම අගමෙහෙසින් ව යශෝධරා නමින් දිව්‍යසමාන මනුෂ්‍යසම්පත් විඳ දැන් ඔබගේ සසුන් වැද මහණ ව අමාමහ නිවන් දිටිමි. සංසාර සාගරයෙන් ගොඩ නැංගෙමි, පෙර මම ඔබට අනුබල වීමි, දැන් ඔබ මට අනුබල වූ සේක. අසාධාරණ වූ ඍද්ධි ලදිමි. විශේෂ වූ දිවකන් ලදිමි. නිර්‍මල වූ දිවස් ලදිමි. පරසිත් දන්නා නුවණ ලදිමි. යනාදීන් සිංහනාද කොට තමන් වහන්සේගේ පූර්‍ව ප්‍රණිධි සංඛ්‍යාත වූ නො එක් සෘද්ධි බල දැක්වූ සේක. එයින් කීහ අපදානයෙහි;

බ්‍රහ්මදෙවඤ්ච සම්බුද්ධං - ගොතමං ලොකනායකං

අඤ්ඤසං ලොක නාථානං – සඞ්ගමන්තෙ බහුං මයා.

.

අධිකාරං බහුං මය්හං - තුය්හත්‍ථාය මහාමුනෙ,

ගවෙසන්තෙ බුද්ධ ධම්මං - අහං තෙ පරිචාරිකා,

.

කප්පෙ ච සතසහස්සෙ ච – චතුරො ච අසංඛීයෙ,

දීපඞ්කරො මහාවීරො - උප්පජ්ජි ලොකනායකො.

.

තෙන කාලෙන හං ආසිං - කඤ්ඤා බ්‍රාහ්මණ සම්භවං,

සුමිත්තා නාම නාමෙන - උපගඤ්ඡිං සමාගමං.

.

අට්ඨ උප්පලහත්‍ථානි – පූජනත්‍ථාය සත්‍ථුනො,

ආදාය ජනසම්මජ්ඣෙ - අද්දසං මුනි මුග්ගතං

.

චිරානුගත දාසිනං – පතිං කන්තං මනොරමං

දිස්වා තදා අමඤ්ඤිම්හ – සඵලං ජිවිතං මම.

.

පරක්කමන්තං සඵලං - අද්දසං ඉසිනො තදා,

පුබ්බකම්මෙන සම්බුද්ධෙ - චිත්තං චා’පි පසීදිමෙ.

.

භීය්‍යො චිත්තං පසාදෙසිං - ඉසෙ උග්ගත මානසෙ,

දෙය්‍යං අඤ්ඤං න පස්සාමි - දෙමි පුප්ථානි මෙ ඉසෙ.

.

පඤ්චහත්‍ථා තවං හොන්තු – තයො හොන්තු මමං ඉසෙ,

තෙන සිද්ධි සමා හොතු - බොධත්‍ථාය තුවං ඉසෙ.

.

ඉසි ගහෙත්‍වා පුප්ථානි - ආගච්ඡන්තං මහායසං,

පූජෙසි ජනසම්මජ්ඣෙ - බොධත්‍ථාය මහාඉසෙ.

.

පස්සිත්‍වා ජනසම්මජ්ඣෙ - දීපංකරො මහාමුනී,

වියාකාසි මහාවීරො - ඉසිං උග්ගතමානසං.

.

සමචිත්තා සමකම්මා - සමකාරී භවිස්සති,

විසයා හෙස්සති තෙ කම්මෙ - තුය්හත්‍ථාය මහා ඉසෙ.

.

සුදස්සනා සුප්පියා ච - මනාපා පියවාදිනී,

තස්ස ධම්මෙසු දායාදා - පියා හෙස්සති ඉත්‍ථිකා.

.

යථාපි භණ්ඩසාමුග්ගං - අනුරක්ඛන්ති සාමිනො,

එවං කුසල ධම්මානං - අනුරක්ඛිස්සතෙ අයං.

.

තස්ස තං අනුකම්පන්ති - පූරයිස්සති පාරමී,

සීහො’ව පඤ්ජරං හෙත්‍වා - පාපුණිස්සති බොධියං-යි.

මෙසේ උන්වහන්සේ තමන් වහන්සේගේ පූර්ව ප්‍රණිධීන් බුදුන් වහන්සේගේ පෙරට ව වැඩසිට සිංහනාද කළ කල්හි සිසාරා සිටි දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය සේනාව එකපැහැර දොහොත් මුදුන් දී සිට මහත් වූ සාධුනාද පූජාවෙන් තුන්ලොව පුරා පූජා කළ හ. සියලු ස්ත්‍රී ලෝකයා ද එ බඳු වූ ගුණ සම්පත් - ආචාර සම්පත් - හේතු සම්පත් - ප්‍රඥා සම්පත් - සෘද්ධි සම්පත් - නිවන් සම්පත් ප්‍රාර්ථනා කළ හ. මෙසේ උන්වහන්සේ මුළුලොව විස්මය පත්කොට බුදුන් වැඳ ක්‍ෂමා කරවා අවසර ඉල්වා වදාළ සේක. ස්වාමිදරුවෝ ද උන්වහන්සේගේ වික්‍රම මුළු ලෝ වාසීන් දත් සේ දැක මෙ විට අවසර දුනමනා කලැ යි සිතා :-

අක්ඛන්තො නාම මන්තබ්බං - කිං භවෙ ගුණභූසනෙ,

කිමුත්තරං තෙ වක්ඛාමි - නිබ්බාණාය වජන්තියා-යි.

පිරිනිවනට අවසර දීම

යන මේ ගාථාවෙන් “යශෝධරා ස්ථවිරීනි! ජාම්බූනද ශෘංගී ස්වර්ණ චාමීකර ශතකුම්භ ය යි යන චතුර්ජාතියෙහි ඝනරන් මල දැවීමෙන් කම් නැත්තා සේ, චතුරාර්‍ය්‍යසත්‍යයන් අවබෝධය කළාවූ තොප වැනි අමා මහ නිවන් දුටුවන්ට ඔවුනොවුන් ලා ක්‍ෂමා කැරවීමෙහි ඵල නැත, තොප තබා මුළු ලෝ වාසීන් නිවන් පුරයටම මෙහෙයන්නාවූ මම දැන් එම පුරයට අවසර ඉල්වන්නාවූ තොපට කුමක් නම් කියම් ද, තොප සිතූයේ කාරණ ම ය, බුදුන් ගේ පරිනිර්‍වාණය තොප වැනියන් නුදුටු මනා ම ය. මෙයින් සූවිසි මසක් අතික්‍රාන්ත වූ කල බුදුහු ද එම පුරයට නික්මෙන්නාහ. තොප වැනියන් ක්‍ෂමා කැරවීමෙහි ඵල නැතත් ලෝක ව්‍යවහාර නිසා ක්‍ෂමා කළම්හ ක්‍ෂමා කළම්හ යි තුන් යලක් වදාරා ශ්‍රීමුඛයෙන් නිකුත් සුවඳගඳින් මුළුලොව සුවඳ කරඬුවක් සේ කරවමින් නික්මෙවයි අවසර දී වදාළ සේක.

එ වේලෙහි උන්වහන්සේ නැවත නැවත බුදුන් වැඳ තුන් වාරයක් බුදුන් ප්‍රදක්ෂිණා කොට දහසක් මෙහෙණිනි සෙනග හා සමඟ අවසරගෙන නික්ම බුදුන්ගේ දර්ශනයට විෂය තාක් තැන් බුදුන්ට අභිමුඛව පසුබැස ගොස් බුද්ධදර්ශනය මුවහ වන තැන්හි සිට නැවත පසඟ පිහිටුවා වැඳ බුදුන් වසන දෙස බල බලා උදාර වූ ආදරයෙන් තමන් වහන්සේගේ මෙහෙණවර බලා නික්මුණු සේක. එ වේලෙහි ශ්‍රාවකයන් වහන්සේ ද බුදුන්ගේ අදහස් දැන විහාරොපචාරය දක්වා ඔබට පසු ගමන් පූජා කළ සේක.

පිරිනිවන් පෑම

උන්වහන්සේ ගොස් මෙහෙණවරට වැද එදා රෑ සන්හුන් රාත්‍රියෙහි අඩපලග් බැඳ වැඩහිඳ ධ්‍යානයෙන් ධ්‍යානයට සමවැද පිරි නිවන් පෑ නිවන්පුර ගිය නියාව ද, මුළු දඹදිව සත්ත්‍වයන් රැස් වූ නියාව ද, දෙවි-බඹ කැලන් පූජා කළ නියාව ද, තමන් වහන්සේ ඡද්දන්ත නම් හස්තිරාජන් ව සොණුත්තරයාගේ සැරපහරින් මළ දවස් සුභද්‍රා නම් කණෙරුකාව අටදහසක් ඇතුන් හා පන්සියක් පසේබුදුන් සමඟ තුන්යම් රෑ එ දවස් කළ මහා ආදාහන පූජාවට මෙ දවස් සංග්‍රහ කොට නිමන්නා සේ, බුදුරජාණන් වහන්සේ ද ශ්‍රාවක සේනාව හා දිව්‍ය-මනුෂ්‍ය සේනාව පිරිවරා තුන්යම් රෑ වැඩසිට ඔබගේ ආදාහන පූජාව කළ නියාව ද, එ නුවර වැසියන් ලවා ඔබගේ ධාතු වඩා යශෝධරා නම් මහසෑය බැඳවූ නියාව ද, එහි දවස් පතා නො එක් පූජා කරන සේ ව්‍යවස්ථා කැරවූ නියාව ද, සියලු සත්ත්‍වයන් එම සෑය නිසා ම පින් රැස්කොට දෙව්පුර නිවන්පුර පැමිණි නියාව ද, බුදුන් ඒ රජගහා නුවරින් නැවත සැවැත් නුවර වැඩි නියාව ද, මහා ප්‍රජාපති ස්ථවිරීන් වහන්සේගේ ආදාහන පූජාවට යට කී පරිද්දෙන් ම නුවණැතියන් විසින් විස්තර වසයෙන් බලා දතයුතු.

මෙසේ තමන්වහන්සේට සසර පක්‍ෂපාතව විසූ ස්ත්‍රීන් අතින් පවා මෙ බඳු වූ ප්‍රාතිහාර්‍ය්‍ය - ප්‍රතිපත්ති ආදි වූ අනෙකප්‍රකාර වූ පූජා ලත් හෙයිනුත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:-

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං-යි.

මේ පූජාවලියෙහි අප බුදුන් යශෝධරා මහා ස්ථවිරීන්ගෙන් ලද

ප්‍රතිපත්ති පූජා කථා නම් වූ එක්තිස් වන පරිච්ඡෙදය නිමි.

32. උද්දේසික පූජා කථා

බුද්ධකාරක ධර්‍ම

තව ද: අප බුදුන් ධර්මාශෝකාදී ජම්බුද්වීපයෙහි රජුන්ගෙන් ලද උද්දේසික පූජා නම් කවර යත්?

මෙහි උද්දේසික පූජාවෝ වනාහි බුදුන් අයාමෙහි වන්නාහ. එසේ හෙයින් බුදුන්ගේ පරිනිර්‍වාණය දක්වා මුත් මතු කථා උපදවා ගැන්මට මුඛ නො වන බැවින් ඒ කථා පරිනිර්‍වාණ සූත්‍ර-මහාවංශාදියෙහි සෙයින් විස්තර වසයෙන් කියත්, ග්‍රන්‍ථය විසාරද වන හෙයිනුත් අසන්නවුන් ද කුසීත වෙති යි සිතා මතු කියන ඒ උද්දේසික කථා සංක්‍ෂෙපයෙන් දක්වනු ලැබෙයි. දනුමැතියන් විසින් සාවධානව ඇසිය යුතු.

මෙසේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ දීපඞ්කර පාදමූලයෙහි පටන් යට කී සේ ම සමතිස් පැරුම් පුරා තුසීපුරෙන් වැඩ, බුදු වූ ජාතියෙහි මවුකුස පලග් බැඳ සියලු සත්ත්‍වයන්ට පෙනි පෙනී දසමසක් වාසය කළාවූ මේ පළමුවන බුද්ධකාරක ධර්‍මය ය. දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මයන් මධ්‍යයෙහි මවුකුසින් බිහි ව, කලක් ගිහිගෙයි වැස මහභිනික්මන් කොට දුෂ්කරක්‍රියා පුරා බුදුවන දා කිරිපිඬු වළඳා වැළඳූ තලිය නාගභවනයට හළුවාවූ දෙවන බුද්ධකාරක ධර්‍මය ය. තවද: තණපලඟෙහි පූර්වදිග් බලා චතුරඞ්ගයන් ඉටා වැඩහුන්නාවූ තුන්වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: එ ම හස්නේ හිඳ ආනාපාන කර්‍මස්ථානයන් මෙනෙහි කළාවූ සතරවන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: එම හස්නේ හිඳ මරසෙනඟ ජය ගත්තා වූ පස්වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: එම පර්‍ය්‍යඞ්කයෙහි වැඩහිඳ බුදුවූවා වූ සවන බුද්ධකාරක ධර්‍මය ය. තව ද එම පර්‍ය්‍යඞ්කයෙහි දීම ෂට් අසාධාරණ ඥාන ලද්දාවූ සත්වන බුද්ධකාරක ධර්‍මය ය.

තව ද: එම පර්‍ය්‍යඞ්කයෙහිදී ම බුද්ධඥාන ලද්දා වූ අටවන බුද්ධකාරක ධර්‍මය යි. තව ද: බුදු වූ සත්සතියක් නිරාහාරයෙන් දවස් යැවූ නවවන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: මහාබ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ධර්‍මදේශනා කළා වූ දසවන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: ඉසිපතනයෙහි වැඩහිඳ දම්සක් දෙසුවා වූ එකොළොස්වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: නවම් මැදි පොහෝ දා චතුරංගයෙන් ප්‍රාතිමෝක්‍ෂ දේශනා කළා වූ දොළොස් වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: බන්ධු සමාගමයෙහි දී බුද්ධවංශ දේශනා කළා වූ තෙළෙස් වන බුද්ධ කාරක ධර්‍මය ය. තව ද: ජෙතවනාරාමයෙහි ම වාසය කළා වූ තුදුස් වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: සැවැත් නුවර දී යමාමහ පෙළහර පෑවා වූ පසළොස්වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: තවුතිසා භවනයෙහිදී විජම්බණ දේශනා කළා වූ සොළොස් වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: සකස් පුර දොරටම දෙව් ලොවින් වැඩියා වූ සතළොස්වන බුද්ධකාරක ධර්‍මය ය. තවද: දවස දවස අටසාලිස් කෙළ ලක්‍ෂයක් ඵල සමවත් සමවන්නාවු අටළොස් වන බුද්‍ධකාරක ධර්‍මය ය. තව ද: දවස දවස වෛනෙය ජනයන් බලන්නාවූ දසනව වන බුද්ධකාරක ධර්‍මය ය. තවද: දුටු දුටු වරදෙහි ශික්ෂාපද පනවන්නාවූ විසි වන බුද්ධකාරක ධර්‍මය ය. තවද අර්ථොත්පත්තියෙහි ජාතක දේශනා කරන්නාවූ එක්විසිවන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: ආගන්තුකයන් හා පටිසන්‍ථාර කරන්නා වූ දෙවිසිවන බුධකාරක ධර්‍මය ය. වස් අන්තයෙහි අනාපුච්ඡාවෙන් නොවඩනා වූ තෙවිසි වන බුද්ධකාරක ධර්‍මය ය. තවද: දවසින් දවස නොවරදවා කරන පූර්‍වභක්ත කෘත්‍යය නම් වූ සූවිසි වන බුද්ධකාරක ධර්‍මය ය. පශ්චාද්භක්ත කෘත්‍යය නම් වූ පස්විසි වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: ප්‍රථම යාම කෘත්‍යය නම් වූ සවිසි වන බුද්ධකාරක ධර්‍මය ය. තවද: මධ්‍යම යාම කෘත්‍යය නම් වූ සත් විසි වන බුද්ධකාරක ධර්‍මය ය. තවද: පශ්චිම යාම කෘත්‍යය නම් වූ අටවිසි වන බුද්ධකාරක ධර්‍මය ය, පරිනිර්‍වාණ දිනයෙහි මාංස රස භෝජනය අනුභව කළා වූ විසිනව වන බුද්ධකාරක ධර්‍මය ය. තවද දීර්ඝ කාලයක් ප්‍රියවාසයෙන් එක ගෙයි විසූ කල්‍යාණමිත්‍රයකු වියෝග වන කාලයෙහි නො එක් විට වැළඳ සිඹ සනහා අත්හරනා සේ, තමන්වහන්සේ බුදුවූ දා පටන් දවස දවස වසීභූත කළාවූ සූවිසි කෙළ ලක්‍ෂයක් ඵලසමාපත්තියට සමවැද එයින් නැගී පරිනිර්‍වාණය කරන්නාවූ තිස් වන බුද්ධකාරක ධර්‍මය ය යි යන මේ හැම බුදුන් නො වරදවා කරන්නාවූ සමතිංශත් බුද්ධකාරක ධර්‍මයන් ම තමන් වහන්සේත් නොවරදවා ම සම්පූර්ණ කොට-[92]

බුදුරදුන් විසූ සතලිස් පස් වස

එක්සිය විසි හවුරුද්දට ආයු කාලයෙහි ඉපැද, එකුන් තිස් හවුරුද්දක් ගිහිගෙයි වැස, සාවුරුද්දක් දුෂ්කරක්‍රියා කොට, පන්තිස් හැවිරිද්දෙහි ලොවුතුරා බුදු ව, සද්ධර්‍ම චක්‍රවර්තී ව, එ තැන් පටන් බුදුව පළමු වන හවුරුද්දෙහි බරණැස් නුවර ඉසිපතනාරාමයෙහි වස්වැස, දෙවන – තුන්වන - සතර වන හවුරුද්දෙහි ක්‍රමයෙන් තුන් වසක් ම රජගහා නුවර වේළුවනාරාමයෙහි වස්වැස, පස්වන හවුරුද්දෙහි විශාලා මහනුවර කූටාගාර නම් ශාලාවෙහි වස්වැස, සවන හවුරුද්දෙහි මාකුල පර්වතයෙහි වස්වැස, සත්වන හවුරුද්දෙහි සක්දෙව් රජහුගේ ඒකපූණ්ඩරීක නම් උයනෙහි පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස්වැස, අටවන හවුරුද්දෙහි සුංසුමාර ගිරියෙහි වස්වැස, නවවන හවුරුද්දෙහි කොසඹෑනුවර කොසම්බිය නම් ආරාමයෙහි වස්වැස දසවන හවුරුද්දෙහි පාරිලී වනයෙහි පාරිලී වනයෙහි පාරිලෙය්‍ය නම් මතැ’තකු අතින් උපස්ථාන ලදින් සල් රුක් මුල ගල් අතුළෙක වස්වැස,

එකොළොස්වන හවුරුද්දෙහි නාල නම් බමුණු ගම නාල නම් ආරාමයෙහි වස්වැස, දොළොස් වන හවුරුද්දෙහි වෙරඤ්ජා නම් බමුණු ගම එක්තරා එක් ශාලාවෙක වස්වැස, තෙළෙස් වන හවුරුද්දෙහි චාලිය නම් පර්‍වතයෙහි දෙවියන්ගේ ආරාධනාවෙන් වස්වැස, තුදුස් වන හවුරුද්දෙහි ජේතවනාරාමයෙහි වස්වැස, පසළොස් වන හවුරුද්දෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි මිණිගුහායෙක වස්වැස, සොළොස් වන හවුරුද්දෙහි අලවු නුවර අලවු නම් රජහුගේ අලවු නම් උද්‍යානයෙහි වස්වැස, සතළොස් වන හවුරුද්දෙහි නැවත රජගහා නුවරට වැඩ වෙළුවනාරාමයෙහි ම වස්වැස, අටළොස් වන හවුරුද්දෙහි ද, දසනව වන හවුරුද්දෙහි ද, පිට පිට ම දෙවසක් චාලිය නම් පර්‍වතයෙහි ම වස්වැස, විසිවන හවුරුද්දෙහි තව`ද රජගහානුවර වේළුවනාරාමයෙහි ම වස්වැස, මෙ තැන් පටන් ක්‍රමයෙන් ම නොවරදවා ම දසනව හවුරුද්දක් දෙව්රම් වෙහෙර ම වස්වැස, තුබූ සහවුරුද්දෙහි විශාඛාවන්ගේ ආරාධනාවෙන් පූර්වාරාමයෙහි මිගාරමාතු මහපායෙහි වස්වැස,

බුදු ව වැඩහුන් පන්සාලිස් හවුරුද්දෙහි ම මෙසේ මෙසේ ලෝවැඩින් යෙදී විලි පිලි නො දක්වා අශීති වර්‍ෂයක් ජීවත් ව ලක්‍ෂයක් හවුරුදුත් ජීවත් වන්නාවූ බුදු කෙනෙකුන් කළමනා වූ බුද්ධකෘත්‍යයන් මෙදෑතුරෙහි නිමවා සූවිසි තෙනෙක වැඩ හිඳ වදාළා වූ බණින් සූවිසි අසඞ්ඛෙය්‍යක් සත්ත්‍වයන් සෝවාන් කොට, සූවිසි අසඞ්ඛෙය්‍යක් සතුන් සෙදගැමි කොට, සූවිසි අසඞ්ඛෙය්‍යක් සතුන් අනගැමි කොට, සූවිසි අසඞ්ඛෙය්‍යක් සතුන් අමාමහ නිවන් දක්වා, එකෙක, දසයෙක සියයෙක, දහසෙක, ලක්‍ෂයෙක, කෝටියෙක යනාදීන් නො එක් වාරයෙහි, නො එක් දේශනාවෙහි සසරින් ගොඩනැගුවා වූ සත්ත්‍වයන් හැර අසංඛ්‍යෙය වූ පථයෙන් ම සයානූ අසං අසඞ්ඛෙය්‍යක් ප්‍රාණින් සංසාර සාගරයෙන් ගොඩනඟා කෙළවර අජාසත් රජ්ජුරුවන්ට අට වන හවුරුදු වෙසඟ මැදි පොහෝ ලද අඟහරුවාදා විසා නැකතින් කුසිනාරා නුවර මල්ල රජුන්ගේ සල් උයනෙහි යුග්ම ශාලයන් දෙදෙනාගේ අන්තරයෙහි පනවන ලද පරිනිර්‍වාණ මඤ්චකයෙහි උතුරු දිගට හිස ලා, නැඟෙනහිරට පිට ලා, පැළ දිගට මුහුණ ලා, යමදිගට පයලා, සිංහ ශය්‍යාවෙන් වැදහොත් සේක. එකෙණෙහි බුදුන් උපන් දා සේම පශ්චිම වූ දෙතිස් මහා පූර්‍වනිමිත්ත පූජාවෝ ද දසදහසක් සක්වළ ම පැවැත්තාහු ය.

බුද්ධ පරිනිර්වාණය

තව ද: තුසිත භවනයෙහි දී බුදුවන්ට දෙවියන් ආරාධනා කළ දා “මවුකුස ප්‍රතිසන්‍ධිය කෙරෙමි” යි ඉවසූ වේලෙහි බොහෝ ආයු ඇති වරවාරණ නම් දිව්‍යපුත්‍රයෙක් “උතුමාගේ ප්‍රසව මඞ්ගලයට මල්පූජාවක් කරම්හ” යි සිතා තමාගේ දිව්‍යසේනාව හැරගෙන මල් ගොතන්නට පටන් ගත, ඒ මල් ප්‍රසව පූජාවටත් ගොතා නො නිමිය. මහභිනික්මන් පූජාවටත් නො නිමිය, බෝධි මණ්ඩලයෙහි බුද්ධ පූජාවටත් නො නිමිය. දම්සක් පැවතුම් පූජාවටත් නො නිමිය. දේවෝරොහණ පූජාවටත් නො නිමිය. ආයුසංස්කාර හරනා දවසටත් නො නිමිය. බුදුන් පරිනිර්‍වාණය කරන මේ පූජාව දක්වාත් අසූ හවුරුද්දක් මුළුල්ලෙහි ගොතාත් එ මල් දැල නො නිමියේ මය. එ කල තෙසු දෙවියෝ ඔහු කරා දිව ගොස් “කොළ වරවාරණ නම් දිව්‍ය පුත්‍රය! තෝ තෙල මල් කාට පූජාවට ගොතයි ද; අද බුදුහු පිරිනිවන් පවිති, දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්ම සේනාව රැස්ව පරිනිර්‍වාණ පූජා කෙරෙමින් සිටියාහු වේ දැ”යි කීහ.

එ වේලෙහි දේවතාවා ලෙහි අත් ගසා ගොතන මල් අතින් හෙළා “කොල! ඒ කුමන විස්මයෙක් දැ” යි කිය කියා නැඟී සිට මහත් වූ පශ්චාත්තාපයට පැමිණ “බුදු කෙනෙක් ලක්‍ෂයක් අසඞ්ඛෙය්‍යක් කපිනුත් දුර්ලභයහ, එසේ වූ බුදුහු අද ම ඉපැද, අද ම මහභිනික්මන් කොට, අද ම බුදුව, අද ම දහම් දෙසා, අද ම සියලු සතුන් සසරින් මුදා අද ම පිරිනිවන් පවිද් ද, දෙ දවසක් ජීවත් වන්නා වූ පිනකුත් නො කළාහු ද, මල්ගෙතීමක් නිසා ඒ බුදුන් අතින් දහම් පදයක් අසා නො ගතිමි” යි මහහඬින් හඬ හඬා ගොතා නොනිමි මල්දැල ගෙන එක්ලක්‍ෂ අටසැට දහසක් යොදුන් මහමෙර මුදුනට නැඟිලා “දෙ දවසකුත් ජීවත් නොව, මේ සා ලෝවැඩක් කළා වූ ඒ උතුමාට මේ නොනිමි මල්දැල පූජා වේවා” යි කියාලා මල්දැල මුළු සක්වළට දමාලීය. එකෙණෙහි සතිස්ලක්‍ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් වට ඇති සක්වළගල වසාගෙන වට ගෙයක පලයක් සේ සිටගත.

මෙසේ දෙවියන් පූජාවට පටන් ගත් වේලෙහි “ස්වාමිදරුවාණන්ගේ පශ්චිම දර්ශන ය”යි කිය කියා මහත් වූ ධර්‍මසංවේගයට පැමිණ තුන්පිටකය ගෙවා දත් සත් ලක්‍ෂයක් පමණ මහතෙර පෙළක් අවුත් බුදුන් සිසාරා සිටගත්හ. සෙසු භික්ෂූන් වහන්සේ මෙ තෙකැ යි ගණන් නැත. එ වේලෙහි ස්වාමි දරුවෝ “මාගේ දහම් නමැති පහන පන් දහසක් හවුරුදු මුළුල්ලෙහි ලොව මා උන්නා සේ ම මොහඳුරු දුරු කෙරේව”යි අධිෂ්ඨාන කොටලා තව ද: “මාගේ ශරීරධාතු තුන්තරමෙක බෙදී මුළුලොව විසිර ඒ ඒ පූජාවෙහි ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා ලෝවැඩ කෙරේව”යි අධිෂ්ඨාන කොටලා-පඤ්ච මහා අධිෂ්ඨානය හා මහා ශබ්දයෙන් උපන්නා වූ සූක්‍ෂම වූ අධිෂ්ඨානය යි ශතසහස්‍ර සඞ්ඛ්‍යාත වූ අධිෂ්ඨානයන් කොට, ප්‍රථම යාමයෙහි මල්ලරජුන්ට බණ වදාරා, මධ්‍යම යාමයෙහි දෙවියන්ට බණ වදාරා, පශ්චිම යාමයෙහි ශ්‍රාවකයන්ට බණ වදාරා අවවාද දී, අලුයම් රාත්‍රියෙහි දසදහසක් සක්වළ මහපොළෝ එක්ලක්‍ෂ විසිදහසක් වාරයෙහි කම්පිත කරවා ඵලසමවතින් නැඟී නිරූපධිශෙෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවී සේක.

එ කෙණෙහි මල්ලරජදරුවෝ අනඳ මහ තෙරුන් වහන්සේ අතින් අසා දිව අවුදින් කල්පාන්තවාතයෙන් හුණු සල්වනයක් සේ හඬා හී මුසපත් ව, රහතන්ගේ අවවාදයෙන් නැඟි ස්වාමිදරුවාණන්ගේ ශ්‍රී ශරීරයටත් සත් දවසක් මුළුල්ලෙහි අප්‍රමාණ වූ පූජාකොට සත්වන දා අනඳ මහ තෙරුන් වහන්සේගේ විධාන වූ පරිද්දෙන් චක්‍රවර්තී රජුන්ට කළමනා චාරිත්‍ර කොට, පන් පන්සියක් සළුපට, පුලුන් පටින්, බුදුන්ගේ ශ්‍රී ශරීරය වෙළා, ඝන රන්මය වූ මහ දෙනකට වඩා, එක්සිය විසි රියන් සඳුන් දරසෑයක් බැඳ ආදාහන පූජාවට පටන් ගත්හ. එ කෙණෙහි දන පමණ කටී පමණ පරසතු මඳාරා මල් වැසපී ය, දසදහසක් සක්වළ දෙවියෝ රැස් ව අහස්කුස පුරා සිට ගත්හ.

කසුප් තෙරුන්ගේ පා වැඳුම

මල්ල රජහු අට දෙනෙක්-සොළොස්දෙනෙක්-දෙතිස්දෙනෙක් බැගින් සැරහි සිට රන් තල්වැට සලාත් ගිනි දල්වාගත නුහුණුවහ. කාරණ කිම යත්? “මහසුප් මහ තෙරුන් වහන්සේ අවුත් බුදුන් වැඳි කල මුත් ගිනි නො ගනීව” යි බුදුන්ගෙනුත් අධිෂ්ඨාන ය; ඔබට මිත්‍ර වූ දෙවියන් ගෙනුත් අධිෂ්ඨාන ය. එකල රජදරුවෝ අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අතින් මෙ පවත් අසා “සෘද්ධිවන්ත වූ මහ තෙරකෙනෙක් තව මෙ තෙනට නො ආවෝ ල, උන් මෙ තෙනට නො ආ හෙයින් දරසෑයෙහි ගිනි නො ගනී ල, එවැනි ඍද්ධිවන්තයන් ඇති පසු බුදුන් නැතත් ලොවට හානි කිම දැ”යි සන්තුෂ්ට ව “එ තෙරෙහු කෙබඳු වූ රූපවිලාස ඇතියෝ දෝ හෝ උන් බලම්හ” යි සුවඳමල්-ධ්වජ-පතාක ගෙන පෙරමඟට දිවුවාහු ය.

ඒ මහසුප් මහ තෙරුන් වහන්සේ කොයි වැඩ බුදුන්ගේ ආදාහනයට පසු වූ සේක් ද යත්? පෙර සැවැත් නුවර ජෙතවනාරාමයෙහි බුදුන් හා සමඟ මුන්වහන්සේ වසන කල එ නුවර එක්තරා එක් උපාසිකාවක් මහසුප් මහතෙරුන් වහන්සේ දැක තමා පූර්ව ජාතියෙහි උන්වහන්සේට මවු ව උපන් හෙයින් පුත්‍රප්‍රේම බැඳ එතැන් පටන් ඔබට දවස දවස බත්පැන්දක් තබා දෙයි. ඒ මහසුප් මහතෙරුන් වහන්සේ නම් බුදුන්ට සතරඟලකට මිටි බව මුත් බුදුන් හා එක්වැනි වූ රූ ඇති සේක. එසේ හෙයින් ඔබ දුටු කල බොහෝ සේ සත්ත්‍වයෝ “බුදුහු වැඩිසේකැ”යි කියති.

එක් දවසක් ස්වාමිදරුවෝ එකචාරි සිංහපොවුවකු සේ අප්‍රසිද්ධ දෙතිස් අසූ ලකුණු සඟවා ගෙන වෛනෙය පුද්ගලයන් උදෙසා එනුවර සිඟා ඇවිදිනා සේක. එ වේලෙහි ඒ ස්ත්‍රී බුදුන් දැක මහසුප් මහතෙරුන් වහන්සේ ය යි සිතා ඔබට තමා ලන්නා වූ බත් සැන්ද බුදුන්ගේ පාත්‍රයට පිළිගන්වා පුව.

බුදුන් එ දොර පියවා වැඩපී කල මහසුප් මහතෙරුන් සිඟා වැඩි සේක. එ වේලෙහි ඒ ස්ත්‍රී “ම පුතණුවන් වහන්සේ ය යි අනික් මහණක්හට මාගේ බත් සැන්ද නො හැඳින ලා පීමි”යි කිය කියා “මා හිස හුනු සෙණක් බලව”යි කිය කියා තොමෝ තමාට ම අව අවා, බුදුන් හඹාගෙන ගොස් “මඳක් සිටින වහන්සේ ය”යි කිය කියා බුදුන්ගේ පාත්‍රයට අත ලාලා එ බත් සැන්ද දෙවනු ව උදුරා ගෙන ගියා ය.

එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ “මේ කිමෙක් දෝ හෝ යි දිව්‍ය-බ්‍රහ්ම නරේන්‍ද්‍රයෝ තමන් තමන්ගේ දිව්‍යභෝජනයන් මාගේ පාත්‍රයට කෙසේ ලා පියමෝ දෝ හෝ යි ප්‍රාර්ථනා කෙරෙති; මේ ස්ත්‍රී එසේ වූ මට බත් සැන්දක් ලාලා දෙවනු ව ඇරගෙන ගියා ය. මේ ලෝකයෙහි සත්ත්‍වයෝ පූර්වයෙහි උපකාරයක් කළ කෙනෙකුන්ට මුත් උපකාරයක් නො කෙරෙත් ම ය; මෝ තොමෝ පෙර මාගෙන් සංග්‍රහයක් ලද්දෝ හෝ නො ලද් දෝ හෝ” යි පූර්ව චරිත බලා සාරාසඞ්ඛ්‍යෙය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි තමන් වහන්සේ දානපාරමිතා නැමති මහමුහුද හළලා තුන්ලෝ වෙවුල්වා සත්තසතකාදි මහදන් දෙන සමයෙහිත් මෝ තොමෝ මාගෙන් බත්උළක් පමණ සංග්‍රහයකුත් නො ලද්දී ම ය, පරසක්වළ ම ඇවිද්දී ම ය” යි දැක ඈ කෙරෙහි උපන් මහා කරුණාවෙන් වැඩ වදාළ සේක.

එ වේලෙහි මහසුප් මහතෙරුන් වහන්සේ බුදුන්ට මෑ කළාවූ අනාදරය දැක “මාගේ නිවන් මෑණියන් හා මා හා එක නුවර සිඟන හෙයින් වේ ද මේ සා පරිභවයක් වූයේ ය” යි මහත් වූ සංවේග උපදවා “අද පටන් ජීවිතාන්තය දක්වා බුදුන් හා එක ගමෙක නො සිඟමි”යි අධිෂ්ඨාන බැඳ එම දා ම හිමාලය වනයට වැඩ එක්තරා එක් පබ්භාරයෙක වසන සේක් “ඉදින් බුදුහු මා නොමැදයෙකත් පිරිනිවි සේක් වී නම් මේ ලෙනදොර සිටි මේ වෘක්‍ෂයෙහි මේ මල් එ දා පර ව බිම වැගිරේව යි මේ සලකුණෙන් බුදුහු පිරිනිවිය හ යි දන්මි”යි අධිෂ්ඨාන කොට බොහෝ දවසක් එහි වාසය කරන සේක් බුදුන්ගේ පරිනිර්‍වාණය හා සමඟ ම ගස මල් පර වූ සේ දැක “මාගේ තුන්ලෝ පහන අද පිරිනිවනැ”යි දැන උපන් මහත් සංවේග ඇති ව, එකෙණෙහි පන්සියක් පමණ රහතන් පිරිවරා දෙවන බුදුකෙනකුන් උපන්නා සේ මහත් වූ පූජාවෙන් වැඩ, දරසෑය සිසාරා තුන්යලක් ඇවිද ශ්‍රීපාදය දිසාවෙන් ආකාශයට පැන නැඟී බුදුන් වැඳ හොත් සේක.

එකෙණෙහි දිය පළා පැනනැඟි මහ පියුම් දෙකක් සේ ස්වාමි දරුවන්ගේ ශ්‍රීපාද දෙක පන්සියක් පුළුන්පට පන්සියක් සළුපට රන්දෙණ දරසෑය දෙබේ කොට ගෙන, වලාගබින් පෙනීගිය පුන්සඳමඬලක් සේ පිටත් ව දිව්‍ය-මනුෂ්‍යයන් බල බලා සිටිය දී මහතෙරුන් වහන්සේගේ නළල් මැදෙහි පෙනී ගියහ. එ වේලෙහි දිව්‍ය මනුෂ්‍යයන්ට බුදුන් පිරිනිවන් පෑ කලටත් වඩා ශෝක බොහෝ විය. එ කල මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ රත් පියුම් පෙති සඟලක් වන් අතුල් දෙකින් බුදුන්ගේ පතුල් දෙක අල්වාගෙන වැඳ ධර්‍මසංවේගයට පැමිණි සේක. මහතෙරුන්වහන්සේ වැඳි පසු ශ්‍රීපාද දෙක වලාගබෙකින් සැඟවුණු පුන්සඳක් සේ රන්දෙණ තුළට වන. එකෙණෙහි දරසෑය තෙමේ ම ගිනි ගත. ඒ ආශ්චර්යය දුටු මනුෂ්‍යයෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද ශෝක තුනී කළහ. ආයු බොහෝ සර්‍වඥවරයන්ගේ ආදාහනයෙහි දී ශාරීරිධාතු නො විසිර එක රන්පිළිමයක් සේ තිබෙයි. ආයු මඳ සර්‍වඥවරයන්ගේ දන්ත ධාතු ය. අකු ධාතු දෙකය, ලලාට ධාතු ය යන මේ ධාතු සත තිබිය දී අවශේෂ ධාතු මුංබියලි සා ය, කඩ සාලැට සා ය, අබ ඇට සා ය, යන තුන් තරමෙක විසිර මුතු දෙණක් සේ වි ය.

ඉක්බිත්තෙන් ගිනි සන්හුන් කල ආකාශයෙන් හා පොළොවින් හා ජලධාරාවෝ දෙදෙනෙක් දිව අවුදින් ගිනි නිවුවාහු ය. එ කල මල්ල රජදරුවෝ මහත් වූ පූජාවෙන් ආදාහන කෘත්‍යය කොට තමන්ගේ නුවර මැද සන්‍ථාගාරය සිවුදෑ ගඳින් පිරිබඩ ගෙන ලද පස්මල් ඉස, රන්තරු රිදීතරුයෙන් විචිත්‍ර වූ වියන් බැඳ මල්දම් රන්දම් රුවන්දම් එල්වා, වටතිර ඇද, සන්ථාගාරයෙහි පටන් බුදුන් ආදාහන කළ ඒ මකුට බන්‍ධන චෛත්‍යය දක්වා දෙපෙළ තිර ඇද අහස්වියන් බැඳ ධ්වජ පතාක නංවා, දෙපෙළ රන්කළස තනා, මිණිදඬු වැට පහන් නඟා, අලඞ්කෘත වූ ඇතකු පිට රන්දෙණ වඩා, මලින් සුවඳින් පුද පුදා, මහා උත්සව කෙළියෙන් ඇතුළු නුවරට වැද, සන්‍ථාගාර මධ්‍යයෙහි සප්තරත්න පර්‍ය්‍යඞ්කයක් කරවා ඒ මතුයෙහි රන්දෙණින් ධාතු වඩා, සේසත් නඟා, කඩුගත් යෝධයන් පදනම වටා, උරෙන් උර ගසා සිටුවා, එයින් පිටත කුඹින් කුඹ ගසා, ඇත්පොළක් සිටුවා, එයින් වටා කණින් කණ ගසා අස්පෙළක් සිටුවා, එයින් පිටත සකින් සක ගසා රථසෙනඟක් සිටුවා, එයින් පිටත උරින් උර ගසා යෝධසෙනඟක් සිටුවා, එයින් පිටත පිළින් පිළ ගසා දුනු ගත් සෙනගක් සිටුවා, මෙසේ වට යොදනක් මානයෙහි සන්නාහයෙකින් වැසුවා සේ අතුරක් නො දී සතුරන් නිසා රකවල් ගත්හ.

අජාසත් රජුට බුදුන් පිරිනිවි බැව් දැන්වීම

මෙසේ මල්ල රජුන් ධාතුවට රකවල් ගන්වා උත්සව කෙළි කෙළ පූජාවට පටන් ගත්හ. එකල රජගහානුවර අජාසත් රජ්ජුරුවෝ මෙ පවත් ඇසූ හ. කෙසේ ඇසූ ද යත්? ඔවුන් ගේ අමාත්‍යයෝ බුදුන් පිරිනිවි බවු අසා “පෘථග්ජන වූ ශ්‍රද්ධාවන්තයන්ගෙන් අපගේ රජ්ජුරුවන්ට වඩා බුදුන් කෙරෙහි ප්‍රේම ඇති රජෙක් නැත, මෙ පවත් රජහට සෙසු වේලක කීමෝ නම් ශෝකාග්නියෙන් රජ දා මියෙයි” සිතා ඔරු තුනක් ගෙන්වාගෙන චතුමධුරයෙන් පුරා රජ්ජුරුවන් කරා ගොස් “දේවයන් වහන්ස! රාත්‍රිභාගයෙහි නුඹවහන්සේට නපුරු වූ කාරණයක් දුටුම්හ, ඒ නපුර දෙසා පියන පරිද්දෙන් සුදු කඩක් හැඳ නාසය හා කන් සිදුරු නො ගැලෙන සේ තෙල ඔරුවෙහි ගැලී හොත මැනැවැ”යි බොරුවක් කියා රජ්ජුරුවන් පළමුවන ඔරුවෙහි ගැලී හොත් කල එම ඇමැති හිසකේ විදා පිට හෙළා අවමඟුල් වෙසක් ගෙන රජ්ජුරුවන් පෙරට ව සිට ඇඳිලි බැඳ “රජ්ජුරුවන් වහන්ස! කුසිනාරා නුවර දී ලෝකනායක වූ අප මහා ගෞතම බුදුහු පිරිනිවන් පෑවාහු වේ දැ”යි කීහ.

රජ්ජුරුවෝ එ බස කන හුනු වේලෙහිම දෙකන ගැසූ යවුල් දෙකක් සේ වෙවුලා ගොස් බුදුන් කෙරෙහි පැනනැඟි ශෝකගින්නෙන් මූර්ඡා වූ හ. රජ්ජුරුවන්ගේ සර්වාඞ්ගය රත්කොටපු යකඳක් සේ කකියවා ඔරුව පිරූ සිහිල් වූ චතුමධුර කකියවාපු ලෝදිය සේ සුරු සුරු යන අනුකරණ දක්වා හුණුසුම් නැංග. එ වේලෙහි අමාත්‍යයෝ අත දව දවා රජ්ජුරුවන් ඒ ඔරුවෙන් ඔසවා ගෙන අනික් ඔරුවේ ලූහ. එ වේලෙහි රජ්ජුරුවෝ සිහිලසයෙහි ගැලී සිහි එළවා ගෙන “තොප කීයේ කුමක් දැ”යි විචාළ හ. නැවත ඇමැතියෝ “හිමි තොප බුදුහු පිරිනිවියහ”යි කීහ. නැවත රජ විසංඥ ව ඒ ඔරුව ද හුණු කෙළේ ය. නැවත ඇමතියෝ රජ්ජුරුවන් තුන්වන ඔරුයෙහි ලා, එහි ද ආශ්වාස ලදින් “තොප කීයේ කුමක් දැ” යි විචාළ කළ “හිමි තොප බුදුහු පිරිනිවන් පෑහ” යි කීහ. තව ද: රජ්ජුරුවෝ විසංඥ වූහ. එ වේලෙහි අමාත්‍යයෝ රජ්ජුරුවන් ඔසවා ගෙන සොළොස් කළයක් ඇල්පැන් ඇඟ සලා සිංහාසන මස්තකයෙහි හිඳුවා සමහරු ඔල්බවා ගෙන සිටියහ.

ධාතු බෙදීම

එ වේලෙහි රජ්ජුරුවෝ සිහි එළවා ගෙන, ඉසකේ වැටිය රන් පෝරුවක් වන් පිටි ලමද හෙළා ගෙන, ප්‍රවාලාඞ්කුර වැනි දෙ අතින් සිය ලෙහි පැහැර, සිය පහර දී මතැතකු සේ මහහඬින් ගුගුරා, වියරු හුණු පුරුෂයකු සේ මහ වේ මැදට බැස, පළමු වෙළුවනාරාමයට ගොස් “මාගේ බුදුන් මීකත ගුගුරුවා පළමුව පිළිගත් වෙහෙර යැ” යි කිය කියා එ තෙන හිඳ හඬා, එයින් නැඟී, ජීවකාරාමයට ගොස් එහි තමන් පළමු ව බුදුන් දුටු පැන විචාළ ගඳකිළියට වැද, එතෙන හී හඬා එයින් නැඟී ධර්‍මශාලාවෙහි බුදුන් වැඩහුන් බුද්ධාසනය බල බලා හඬ හඬා, නො එක් විලාපයෙන් වැලප, එ තෙන හිඳ ගාථා සැටෙකින් බුදුගුණ කිය කියා වැලප නැවත සිහි එළවා ගෙන “දැන් මා හැඬීමෙන් කම් නැත, බුදුන්ගේ ධාතු ගෙනවුත් බුදුන් දුටු සේ පුදමි”යි සිතාලා “මාගේ බුදුහු කොයිදී පිරිනිවි සේක් දැ”යි විචාරා කුසිනාරා නුවර දී ය යි අසා “මාගේ බුදුන්ගේ ධාතු බලයෙන් ගෙනවුත් පුදමි” යි එ කෙණෙහි ම රජගෙට දෙවනු ව නො වැද අටළොස් කෙළක් පමණ මහ සෙනඟ ගෙන ලක්‍ෂගණන් ඇත් අති අස් ඇනි රථ ඇනි බල ඇනි ගෙන මහමුහුදින් දිවු මහරළ පෙළක්සේ දුරුමඟ ගෙවා දිව කුසිනාරා නුවර කඳවුරු බැඳ සිට ගත් හ.

තව ද: මෙ පවත් ඇසූ විශාලා මහනුවර සත්දාස් සත්සිය සත්දෙනකු පමණ ඇති ලිච්ඡවි රජදරුවෝ තමන් තමන්ගේ බල පිරිස් ගෙන එසෙයින් ම දිව ගොස් එම නුවර පිරිවරා හිඳගත්හ. මෙ සෙයින් ම කිඹුල්වත් පුරෙහි ශාක්‍ය රජදරුවන් හා මහසෙනග ය. තව ද: අල්ලකප්ප නුවර රජදරුවන් හා මහසෙනග ය. තව ද: රාම නම් නුවර කෝළිය රජදරුවන් හා මහසෙනගය. තව ද: වෙඨ නම් නුවර රජදරුවන් හා මහසෙනගය. තව ද: පාවෙය්‍යක නම් නුවර රජදරුවන් හා මහසෙනඟ ය යි මෙසේ සත් රජයෙක, සත් සෙනඟක් හා රජදරුවෝ දිව ගොස් නුවර සිසාරා හිඳගෙන “ධාතු අපට ම එවන්නේ ය” යි යුද්ධ හෝ කරන්නේ ය යි වෙන වෙනම වාසි කියා ඉල්වති.

එ බස් අසා මල්ලරජදරුවෝ “බුදුන් අපගේ නුවරදී පිරිනිවන් පෑව මැනවැ යි අප ආරධනා කෙළෙත් නැත, බුදුහු තමන් වහන්සේ ම අපගේ නුවරට වැඩ පිරිනිවි සේක. තමන් තමන්ගේ නුවර යම් යම් රුවනෙක් උපන් නම් තමන් තමන්ට හිමියා සේ ම අපගේ නුවර උපන්නාවූ ධාතුරත්නය අපට ම හිමි ය, තොප කිරි බොනදා අපි මෝරු නුපූම් හ, තොපගේ මතු නො වෙයි, අපගේත් ඇත් අස් රථ පාබල සෙන් ඇත, තොපගේ මතු නො වෙයි අපගේත් කඩු මුවහත් ඇතැ”යි යනාදීන් මන් වඩනා වාසී බස් කියා කලහ වැඩූ හ.

ඉදින් යුද්ධ වී නම් සත් නුවරක් තබා දඹදිව තෙසැට දහසක් රාජධානිවල රජසෙනඟ ආවත් ධාතු තුබු නුවර හෙයිනුත්, ලක්‍ෂගණන් රහතන්ගේ අධිෂ්ඨාන බළ ඇති හෙයිනුත්, සියලු දෙවතාවන්ගේ ආරක්ෂා බල ඇති හෙයිනුත් කුසිනාරා නුවර මල්ල රජදරුවෝ ජයගන්නාහු ම ය.

එ වේලෙහි දඹදිව සියලු රජුන්ට ශිල්ප දුන් රාජ ගුරු වූ ද්‍රෝණ නම් බ්‍රාහ්මණ ආචාරී කෙනෙක් හැම රජුන් සන්සිඳුවා එක තැනට රැස්කොට “දරුවෙනි! බුදුන් උදෙසා ඔවුනොවුන් හා යුද්ධ නො කරව, බුදුහු නම් ක්‍ෂාන්තිවාදී සේක, බුදුහු නම් සියලු සතුන්ට ම සාධාරණසේකැ”යි යනාදීන් නො එක් බණ කියා ගිවිස්වා ධාතු අට කොටසක් කොට මගධ නැළියෙන් දෙනැළිය බැගින් අට ද්‍රෝණයක් ධාතු රජදරුවන්ට බෙදා දෙනුයේ, දකුණු දළදා වහන්සේ රජදරුවන් කථා කර දී සොරා ඇරගෙන තමා හිස කෙස් යට සඟවා ගත. එ වේලෙහි සක්දෙව් රජ “සියලු සතුන්ට ධර්‍මදේශනා කළාවූ මුඛයෙහි ජාත දන්තධාතුවට උපකාර කිරීමට මේ බමුණු සුදුසු නො වේ ම යැ”යි සිතාලා සූක්‍ෂම වූ අතක් මවාලා දන්තධාතුව ඔහු හිසින් සොරා හැරගෙන රුවන් කරඬුවකට වඩා ශක්‍රපුරයට ගෙනගොස් සිළුමිණි සෑයට වඩා අද දක්වා පූජා කෙරෙයි. බමුණු ධාතු බෙදා අන්තයෙහි හිස අත ගා බලා දළදා නොදැක ශෝක කොට “මටත් වඩනා සොරෙක් ඇරගතැ”යි සිතා ලජ්ජාවෙන් කාටත් නොහඟවා ධාතු මිණූ ලාස්ස රජදරුවන්ට කියා ඉල්වා ගත.

දස ථූප

ධාතු බෙදූ ඉක්බිත්තෙන් අජාසත් රජ්ජුරුවෝ තමන්ගේ ධාතු කොටස ගෙන ඒ කුසිනාරා නුවර පටන් රජගහා නුවරට පස් විසි යොදුන් මාර්‍ගය පුළුල අට ඉස්බක් තෙන භෙරිතලයක් සේ තනා, අන්තරන්තරයෙහි වීථි සදා, බුදුන්ගේ ධාතු සත් රුවන් [93]මඬුවකට වඩා, තමන්ගේ ආඥාක්‍ෂෙත්‍රයෙහි මනුෂ්‍යයන් රැස්කොට, මෙසේ ධාතු පූජාකොට, රුවන් රථයේ පසු කෙළවර පෙරකඩට ගිය කළ සත් දවසක් බැගින් රඳ රඳා, මහා පූජාකොට සත් හවුරුදු සත් මස් සත් දවසෙකින් රජගහනුවරට වැද, මහත් වූ දාගබක් බඳවා ශක්ති පමණින් පූජා කළාහු ය. සෙසු රජදරුවෝ ද තමන් තමන්ගේ නුවරට ගෙනගොස් වෙන වෙන ම දාගැබ් බඳවා මහත් වූ පූජා කළාහු ය. ද්‍රෝණ නම් බමුණානෝද ධාතු මිණූ කුරුණිය ගෙන තමන්ගේ නුවර කුම්භ නම් දාගබක් බඳවා තමන්ගේ ධන පමණින් පූජා කළාහුය. පසුව ධාතු සොයා ආ පිප්පලී මොලිය නම් දෙනුවර රජ දරුවෝ ධාතු නො ලදින් “මේ අපට ධාතු ය” යි ආදාහන භූමියෙහි රැස් කොට තිබූ අඟුරු රන් කරඬුයෙන් වඩා මහපෙරහරින් ගෙන ගොස් අඞ්ගාර ථූප නම් දාගැබක් බඳවා තමන් ශක්ති පමණින් පූජා කළා හු ය. කීයේ මැනෝ :-

එකො ථූපො රාජගහෙ – එකො වෙසාලියා පුරෙ,

එකො කපිලවත්‍ථුස්මිං - එකො ච අල්ලකප්පකෙ.

එකො ථූපො රාමගාමෙ - එකො ච වෙඨදීපකෙ,

එතෙ සාරීරිකා ථූපා - ජම්බුදීපෙ පතිට්ඨිතා,

අඞ්ගාර කුම්භ ථූපෙන - දසථූපා භවන්ති තෙ−යි.

ත්‍රිවිධ පරිනිර්වාණ

මේ කීයේ බුදුන්ගේ ස්කන්ධ පරිනිර්‍වාණ පූජා කථා ය. ධාතු පරිනිර්වාණ පූජා නම් කවර? යත්; ක්ලේශ පරිනිර්‍වාණය - ස්කන්ධ පරිනිර්‍වාණය - ධාතු පරිනිර්‍වාණය යි බුදුන්ගේ පරිනිර්‍වාණයෝ තුන්දෙනෙක් වන්නා හ. එයින් ක්ලේශ පරිනිර්‍වාණය බෝධිමණ්ඩලයෙහිදී සවාසනා සකලක්ලේශයන් නසා බුදු වූ වේලෙහිම වි ය, ස්කන්ධ පරිනිර්‍වාණය මෙකී ක්‍රමයෙන් කුසිනාරා නුවර මල්ල රජුන් ගේ උයන යමක ශාලාභ්‍යන්තරයෙහි දී ම විය, ධාතු පරිනිර්‍වාණය පන්දහසක් හවුරුදු අතික්‍රාන්ත ව ප්‍රතිවෙධ ප්‍රතිපත්ති පර්‍ය්‍යාප්ති සංඛ්‍යාත වූ ත්‍රිවිධ ශාසනයාගේ අන්තර්ධානයෙහි ම වෙයි, එයි දු බෝ මැඩදීම වන්නේ ය යි දතයුතු, එ කෙසේ ද යත්?

එහි පිළිවෙළ කථාව සත්පුරුෂ වූ කල්‍යාණ පෘථග්ජනයන් විසින් සාවධානව අසා බුද්ධෝත්පාදයෙහි අරුම දැන, අබුද්ධෝත්පාදයෙහි ඵල නැති බැව් දැන බුද්ධෝත්පාද නැමැති රත්නාකරයෙහි ම උපන්නා වූ සත්ත්‍වයන් ශ්‍රීවන්ත බව දැන අබුද්ධෝත්පාද නමැති ශුන්‍ය ගෘහයෙහි උපනුවන් අශ්‍රීක බවු දැන, තමන් තමන් ලදුවා වූ දුර්ලභ වූ, උතුම් වූ මනුෂ්‍යාත්මය සඵල කොට, මත්තට නිර්වාණ ප්‍රතිෂ්ඨාව සාදා ගතයුතු.

මාගේ ශ්‍රීවන්ත වූ, මුදුන් මල්කඩක් වැනි වූ, සද්ධර්‍මධ්වජයක් වැනි වූ, තුන්ලෝ තිලකයක් වැනි වූ, නිවන් පිඬක් වැනි වූ, ගෞතම ගෝත්‍රයෙහි උපන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම බෝධියෙහි පටන් සම්පූර්ණ වූ, පන්සියක් හවුරුදු ධ්‍යානාංග සම්පූර්ණ වූ, සිවු පිළිසිඹියා පත් ක්ෂිණාශ්‍රව ස්ථවිරයෝ චන්ද්‍ර සූර්‍ය්‍ය දිව්‍යපුත්‍රයන් සේ එකශ්‍රැති ඥාන ලදින් බුදුසසුන් හොබවන්නාහු ය. ඔවුන්ගේ විභාගය: උපාලි ය, දාසකය, සොනකය, සිග්ගවය, මොග්ගලිපුත්තය, මහින්‍දය, නාගසෙන ය, යනාදි වූ මහාස්ථවිරයන්ගේ කථාවෙන් වෙන වෙන ම බලා දතයුතු. එතැන් පටන් ඒ මහා ක්ෂීණාශ්‍රවයන් පිරිහී ගිය පසු සිවුපිළිසිඹියා උපදවා ගත නොහෙන ෂඅභිඥාලාභී වූ මධ්‍යම ක්‍ෂීණාශ්‍රව ස්ථවිරයෝ පන්සියයක් හවුරුදු ශාසනය පවත්වති. එයින් මත්තෙහි ඒ අභිඥාත් උපදවා ගත නොහෙන්නා වූ ත්‍රිවිද්‍යාවට පැමිණි සර්‍ව කනිෂ්ඨ ක්‍ෂීණාශ්‍රව ස්ථවිරයෝ බුද්ධශාසනය පන්සියක් හවුරුදු පවත්වා සසුන් බබුළුවති. මෙසේ එහි විශේෂ වූ විභාග සතර මහා සඟියෙහි වෙන වෙන දැක්වූ පරිද්දෙන් දතයුතු.

මෙසේ යෙළ දහසක් හවුරුදු ත්‍රිවිධ වූ මහ රහතන් වහන්සේගේ වසයෙන් ශාසනය පැවැති කල්හි, එයින් මත්තෙහි කාල නිශ්චයක් නැති ව, ක්‍රම ක්‍රමයෙන් ධර්මශාසනය පිරිහෙනුයේ ඒ ත්‍රිවිද්‍යාත් උපදවාගත නොහෙන්නා වූ ආශ්‍රවයන් විතරක් ක්‍ෂය කළා වූ සෘද්ධි නැති රහතන් වහන්සේ කිසි කාලයක් පවත්වති. එයින් මත්තෙහි ඒ ආශ්‍රවයන් නිමවා ක්‍ෂය කොටගත නො හෙන්නා වූ අනාගාමී මාර්‍ග ප්‍රාප්ත වූ ස්ථවිරයෝ ශාසනය පවත්වති. එයින් මත්තෙහි සෙදගැමිමඟ ලද මහාස්ථවිරයෝ ධර්‍මශාසනය පවත්වති. එයින් මත්තෙහි සෝවාන් මඟ ලද බුද්ධපුත්‍රයෝ අඩුවක් නැතිවම ශාසනය රක්‍ෂා කෙරෙති. එයින් මත්තෙහි කාලය හානිව ගෙන යත් යත් ක්ලෙශයන් උත්සන්න ව ගෙන යත් යත් එක මාර්‍ගඵලයකුත් උපදවා ගත නොහී එබඳු වූ රහතන්ගේ ගුණ සේම හෙයින් රහත් බවු නො රහත් බවු දැනගත නො හැක්කා වූ, ක්ලේශයන් සමනකොට වසන්නා වූ, වජ්‍රඥාන ඇති මහාස්ථවිරයෝ ලක්‍ෂ සුවහස් ගණන් පැනනැඟී අප බුදුන්ගේ ශාසනය පවත්වති. එහි කිසියම් උදාහරණ කථාවක් මෙතැන්හි දක්වම්හ:

ශ්‍රී ලඞ්කාධිපති වූ එක්තරා එක් රජ්ජුරු කෙනෙක් මහ තෙර කෙනෙකුන් හා අතිවිශ්වාසව වසන්නාහු ය, මහ තෙරුන් නො රහත් වුවත්, මහතෙරුන්ගේ ගුණ මහිමයෙන් රහතැ යි කියති. රජ්ජුරුවෝ මහතෙරුන් බොහෝ කාලයක් මුළුල්ලෙහි රහත් බවත්, නො රහත් බවත් දැනගත නො හෙන්නාහු, දවසෙක සඞ්ඝයා උදෙසා එක්තරා එක් ඵලජාතියක් ගෙන්වා මහතෙරුන් අභිමුඛයෙහි තුමූ හිඳගෙන, තමන් ස්වහස්තයෙන් ඒ ඵලජාති ඇඹුල් හා කුළුබඩුයෙන් යොදා අතින් මැඩ මැඩ මහතෙරුන්ගේ මුහුණ බැලූහ, එ කෙණෙහි මහ තෙරුන් මුඛයට කෙළ උනා නැංග. එ දවස් පටන් රජ්ජුරුවෝ මහතෙරහු නො රහත් බවු දත්හ.

තවද මහතෙරහු දෙදෙනෙක් එක්ව මහණ ව ඔවුනොවුන් හා අතිවිශ්වාසව බොහෝ කලක් එක ගෙයි වෙසෙති, දෙදෙන ම නො රහත් හ; දෙදෙන ම ඔවුනොවුන් රහතැ යි සිතති. එයින් එක් මහතෙර කෙනෙක් අනික් මහතෙරුන් “රහත් බවු නො රහත් බවු පරීක්‍ෂා කෙරෙමි” යි සිතා දවසෙක ඔවුන් ගඞ්ගාවකට බැස ජල ස්නානය කරන කල්හි අතවැස්සකු උගන්වා “තෝ දිය කිමිද ගෙන නො පෙනී ගොස් මහතෙරුන් කකුල අල්ව”යි යවූ හ. එ තෙම එසේ ම ගොස් මහතෙරුන් කකුල ගත; මහතෙරහු “කිඹුලෙක් මා පය ගතැ” යි කියා හඬ ගැසූ හ. අතවැසි “කිඹුලෙක් නො වෙමි ස්වාමිනි මම ය, නුඹ පරීක්‍ෂා කරනු නිසා අයිමි. මට ක්‍ෂමා කරන්නැ”යි ක්‍ෂමා කරවා ගිය. එ දවස පටන් මහතෙරුන් නො රහත් බවු අනික් මහතෙරහු දත්හ. බුදුන් ගුණ ගෙන වසන කළ්‍යාන පෘථග්ජන වූ මා ඇතුළු වූ සියලු බුදුන් දරුවන්ට ම මෙසේ මෙසේ වූ ගුණ මහිම වාසනා ම වේව යි. එක් ව ම මහණ වූ ල. එකගෙයි වෙසෙත් ල. ඌ උන් රහතැ යි සිතත් ල. මෙ බඳු වූ ගුණ මහතුන් සිහි කළා වූ මා ඇතුළු වූ සියලු සතුන්ට ම සතර අපාය නො වේ ම ය; සගමොක් සුව ඒකාන්ත වේ ම ය.

එසේ එසේ වූ ක්ලේශයන් සමිත කොට වසන්නා වූ වජ්‍රඥාන ඇති මහාස්ථවිරයෝ ලක්‍ෂ සුවහස් ගණන් පැනනැඟී “අප බුදුන්ගේ ශාසනයෙහි මාර්‍ගඵල ලදුවෝ පිරිහී ගියහ. එසේ හෙයින් ඇවැත්නි, යම් යම් කාංක්‍ෂාවෙක් ඉපැද ගියේ නම් රහතන් නැති හෙයින් ඒ දුරු කොට ලනුවෝ නැත, මෙයින් මත්තෙහි සද්ධර්‍මය නිධාන සේ අප්‍රමාද ව රක්‍ෂා කළ මනා ම ය, ධර්‍මශ්‍රැත පරම්පරාව පිරිහී ගියේ නම් නපුර, පොත් සඞ්ගායනා කරම්හ” යි සුවාසූ දහසක් ධර්‍මස්කන්ධය බුදුන්ගේ මුඛපාළි පමණක් පොත්වල ලියා, එයින් පදයක් පිල්ලක් නො වරදවා, තුන්පිටකය ම පොත් බලා වනපොත් කොට සිත හා පොත හා සම බල බලා ධර්‍මශාසනය නිර්‍මල කොට රක්‍ෂාකොට ලෝවැඩ සසුන්වැඩ කරන්නාහු ම ය.

එසේ කාලයක් ගිය කල පොතෙහි ලියා තුබූ පාළි ධර්‍මයන් ඒ ඒ තැන් සැක බහුල ව පුච්ඡා ප්‍රතිපුච්ඡා බහුල වෙයි, එ කල මහා ප්‍රඥාවන්ත වූ බුද්ධශාසන රක්‍ෂාවෙහි අතිලෝභී වූ අර්ථකථාචාර්‍ය්‍යවරයෝ නො එක් අර්ථකථා උපදවා ධර්‍මය නිර්‍මල කොට තබන්නාහු ය. එතැන් පටන් පාළි වසයෙන්, අර්ථ වසයෙන් ටීකාවසයෙන් බලා ඉගෙන බොහෝ දවසක් ධර්‍මශාසනය පවත්වන කල්හි නැවත කාලයෙකින් අර්ථ කථාව ද එක් ව ටීකාර්ථ කථා උපදවා තබන්නාහු ය. එතැන් පටන් පාළි වසයෙන් - අර්ථ වසයෙන් - ටීකා වසයෙන් බලා ඉගෙන බොහෝ ධර්‍මධර මහා ස්ථවිරයෝ ධර්‍මශාස්ත්‍රය කාලයක් ශාසනය පවත්වන්නාහු ය.

එසේ ශාසනය පැවත පැවත යන කල්හි කලියුගයෙහි උපදනා රජදරුවෝ ආඥාවෙන්, පිනින්, සම්පත්තියෙන්, පරිවාරයෙන් ක්‍රම ක්‍රමයෙන් අඩුව යන්නාහු ය. රජුන්ගේ සම්පත් අඩුවීමෙන් පූර්ව රජුන්ගේ චරිත බලා “අපි ද එසේ එසේ ම සුඛිත වම්හ. ආඥා පතුරුවම්හ. සම්පත් උපදවම්හ. ධන ධාන්‍ය උපදවම්හ. ගව මහිෂයන් උපදවම්හ. මහපිරිස් සිටුවම්හ”යි උත්සාහ කිරීමෙන් ජනයන්ට පීඩා කරන්නාහ; නො මඳ අය ගන්නාහ. අධර්‍මයෙන් දඬ – මුඬ – ඉස්රන් – මස්රන් ආදීන් ලෝකවාසීන් පෙළන්නාහ. රජහු නම් ලෝකවාසීන්ට මවුපියන්ගේ තනතුරෙහි පිහිටියහ. මවුන් පියන් දරුවන්ට දැඩිකම් කරන කල, නො කවන කල, නො පො වන කල, දායාද නො දෙන කල, අවවාද නො කියන කල, පාපයෙන් නො වළකන කල, මවුන් පියන්ට ද, දරුවන්ට ද, වැඩක් නොවන්නා සේ; රජුන් ලොවට අධර්‍ම පීඩා කිරීමෙන් රජුන් ලෝවැසියෝ රක්‍ෂා නො කෙරෙති; ලෝවැසියන් රජහු රක්‍ෂා නො කෙරෙති.

මෙසේ රජදරුවන් අධර්‍මසමාදාන වූ කල යුවරජ මහ ඇමතියෝ ද අධර්මිෂ්ඨ වන්නාහ. රජුන්ගෙන් ඇමැතියන්ගෙන් පීඩා ලබන්නා වූ දනවු වැසි සත්ත්‍වයෝ ද අධර්මිෂ්ඨ වන්නාහ. එ කල මේ හානිය දුටු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අවවාද කළාහු වූ නම් එයිදු නොගිවිස්නාහ. එ කල බුද්ධපුත්‍රයෝ ලෝකවාසීන්ගේ අධර්ම සමාදානය බලා, මතු ලෝකශාසනයට වන පරිහානිය බලා, රජුන් කරා ගොස් අවවාද කියති. රජහු ඇමැතියන් ඇඟ වරද ලා තුමූ නිවරදයා සේ ධර්මයට අවඥා කෙරෙති. ඇමැතියන් කරා ගොස් එපවත් කියා අවවාද කළ කල ඔහු රජුන් කෙරෙහි හෝ රාජ්‍යවාසීන් කෙරෙහි හෝ වරද පිහිටුවා තුමූ නිවරදයා සේ හඟවති. නැවත රාජ්‍යවාසීන් කරා ගොස් අවවාද දී දැහැමින් වසව යි කී කල, ඔහු රජුන් ඇමැතියන් කෙරෙහි වරද පිහිටුවා තුමූ නිවරදයා සේ අවවාද නො පිළිගෙන “රජුන් ධර්මයෙහි පිහිටුවා ගත මැනැව, එ කල අපි දු ධර්‍මයෙහි පිහිටන්නමෝ වේ ද”යි කියා කියා අවවාද කළ උත්තමයන් කී බස් නො ගිවිස්නාහු ය. වදාළේ මැනෝ බුදුන් විසින් රාජොවාද ජාකතයෙහි:

ගවං චෙ තරමානානං – උජුං ගච්ඡති පුඞ්ගවො,

සබ්බා තා උජුං ගච්ඡන්ති – නෙත්තෙ උජු ගතෙ සති.

.

එවමෙවං මනුස්සෙසු – යො හොති සෙට්ඨ සම්මතො,

සො වෙ‘පි ධම්මං චරති - පගෙව ඉතරා පජා;

සබ්බං රට්ඨං සුඛං සෙති - රාජා චෙ හොති ධම්මිකො-යි.

එසේ හෙයින් රජුන්ගේ ධර්‍මසමාදානයෙන් ලොවට වැඩ වන හෙයිනුත්, අධර්‍මසමාදානයෙන් ලොවට අවැඩ වන හෙයිනුත්, දේවතාවෝ කලකිරී කලට වැසි නො වස්සති. වැසි වස්වත් නම්: සය නැත්තවුන්ට බත් දෙන්නා සේ, සය ඇත්තවුන්ට බත් නො ලන්නාසේ, බත් කැමැතියන්ට පැන් ඕනා සේ, පැන් කැමැතියන්ට බත් ලන්නා සේ, ප්‍රයෝජන ඇති ඇති කාලයෙහි වැසි නො වස්වා නිෂ්ප්‍රයෝජන කාලයෙහි විෂම වර්ෂා වස්වන්නාහු ය. පූදිනා කිරි වදිනා කරල් නඟනා කාලයෙහි නියං කරවාත් නසාලති, ඝනවැසි වැස්වීමෙනුත් දාගත මැඩගත නො දී ශස්‍යයන් නසාලති. එසේ හෙයින් සස්‍යයෝ සිත් සේ පල නො දෙන්නාහු ය, ශස්‍යයන් පල නො දීමෙන් ලෝකයෙහි ආහාර විපත්තිය වෙයි.

සුඛිත වූ කාලයෙක ම සත්ත්‍වයන් කුසල් කිරීමෙහි වීර්‍ය්‍ය ඇතිබවු මුත් දුඃඛිත වූ කාලයෙහි අකුසල් කිරීමෙහි වීර්‍ය්‍යවත් වන බැවින් “කුසල් කරන්නා තබා අපි අප කෙසේ රක්‍ෂා කරමෝ දෝ හෝ යි අපි අපගේ පුත්‍ර කලත්‍රමිත්‍රයන් පමණ කෙසේ පෝෂ්‍යය කරමෝ දෝ හෝ”යි ශාසන රක්‍ෂාවෙහි ලෝභ නැති ව ආත්ම රක්‍ෂාවෙහි ම ලෝභ වඩන්නාහු ය. මේ මේ කාරණයෙන් එකල ශාසනයට ප්‍රත්‍යය දායකයෝ ඉතා දුර්ලභ වන්නාහු ය; සුලභ නො වන්නාහු ය.

එකල භික්ෂූහු ගිය ගිය තැන්හි ප්‍රත්‍යය නොලදින් සිවුපස දානයෙන් ක්ලාන්ත වන්නාහු “ශාසනරක්ෂාව භාරයකැ”යි සිතා අන්තෙවාසිකයන් සද්ධිවිහාරිකයන් සමඟ ව රක්ෂා කොටලිය නො හී එකලා ව වසන ගන්‍ධ හස්තිරාජයන් සේ, ත්‍රිපිටකධාරී වූ මහා ස්ථවිරයෝ එක් දෙ අතවැස්සන් ගෙන, ඒ ඒ තැන්හි එකලා එකලා ව වසන්නාහු ය. මෙසේ මහාස්ථවිරයන් එකලා ව විසීමෙන්, අන්තෙවාසිකයන් ඵ් ඒ තැන්හි ස්වච්ඡන්‍දික ව විසීමෙන්, පෘච්ඡා ප්‍රතිපෘච්ඡා කොට සිතු සිතූ සැක හැරගෙන සජ්ඣායනා කොට ගෙනා සද්ධර්‍මය රක්ෂා කරනුවෝ බාහුලික නො වන්නාහු ය. භික්ෂුන්ට සැක මුදාලන ගුරුවරයන් විද්‍යමාන වූ ස්ථානයෙහි ප්‍රත්‍යය දායකයෝ අවිද්‍ය මානයහ. ප්‍රත්‍යය දායකයන් විද්‍යමාන වූ ස්ථානයෙහි ශඞ්කා දූරීකරණය කරන ධර්‍මදායක වූ ගුරුවරයෝ අවිද්‍යමානයහ.

රජ දරුවෝ නම් බුදුන් රජකුලයෙහි උපන් හෙයිනුත් රජුන් ශාසනරක්‍ෂාවෙහි යෙදී වසන හෙයිනුත්, ලොවට අධිපතිව වසන හෙයිනුත්, ශාසනයට මාතෘස්ථානයෙහි පිහිටා, සර්‍වස්ථානයෙහි සම කාන්ති පතුරුවන්නා වූ චන්ද්‍රදිව්‍යපුත්‍රයා සේ, සර්‍වශාසනය ම සම වූ ශ්‍රද්ධාවෙන් රක්‍ෂාකටයුතු වූ ප්‍රවේණි ධර්‍මයන් ඇතියහ. එසේ වූ රජදරුවෝ එ කල තමන් තමන් ගේ සම්පත අඩු හෙයිනුත්, සම වූ ශ්‍රද්ධාව අඩු හෙයිනුත්, පන්ව පන්වාලා වස්නා මණ්ඩල වර්ෂාවක් සේ, තමන් තමන් කෙරෙහි කුලුපග භික්ෂූන් පමණකට සංග්‍රහ කොට රක්ෂා කරන්නාහු ය. කුශලසංග්‍රහයෙන් දුරු ව, විවේකාභිරාම ව, ඒ ඒ තැන්හිම වසන්නා වූ මහා ලජ්ජි පුද්ගලයන් කෙරෙහි උපේක්‍ෂා ව වසන්නාහු ය. මේ මේ කාරණයෙන් රජුන්ගේ ම ගුණ මූලික ව පළමු කොට ආඥාචක්‍රය පිරිහුණු කල, ආඥාචක්‍රය නිසා පවත්නාවූ ධර්‍මචක්‍රය ද පරිහානියට පටන් ගන්ති.

මෙසේ දුක් ගන්නා භික්ෂූහු ධර්‍මය මේ මේ කාරණයෙන් සියල්ල ම දරා ගත නොහී කලෙකින් ටීකා කථා හැර අර්ථ පාළි වසයෙන් පවත්වන්නාහු ය. කලෙකින් අර්ථකථාව ද පවත්වා ගත නොහී ඒ හැර පාළි කථා වසයෙන් ධර්‍මය රක්ෂා කරන්නාහු ය. කලෙකින් පාළි පමණකුත් නිමවා දරාගත නො හී දැඩි දැඩි තැන් හැර සුගම සුගම තැන් පවත්වන්නාහු ය. හේ කෙසේ ද යත්?

තුන් පිටකයෙන් පළමු කොට අභිධර්ම පිටකය පිරිහෙයි, එයි දු පිරිහෙන කල එකවිට ම නො පිරිහී පළමු කොට මහා ප්‍රකරණය අග පටන් මුල දක්වා ක්‍රමයෙන් පිරිහී, දෙවනු ව යමකය පිරිහී තුන්වනු ව කථා වස්තු පිරිහෙයි, සතර වනු ව පුද්ගල ප්‍රඥප්ති පිරිහෙයි, පස් වනු ව ධාතුකථා පිරිහෙයි, සවනු ව විභඞ්ගය පිරිහෙයි, සත් වනුව ධම්සඟුණු පිරිහී මෙසේ පිරිහී සප්තප්‍රකරණය ම අග පටන් මුල දක්වා ක්‍රමයෙන් පිරිහී විජම් පිටකය අන්තර්ධාන වෙයි.

එ තැන් පටන් භික්ෂූහු විනය පිටකය හා සූත්‍ර පිටකය රක්‍ෂාකොට කාලයක් ශාසනය රක්‍ෂා කෙරෙති. දෙවනුව සූත්‍ර පිටකය ද එසේ ම පරිහානියට පටන් ගනිති. එයි දු පිරිහෙන කල අංගොත්තර නිකායෙහි කෙළවර එකාදස නිපාතයෙහි පටන් මුල එකක නිපාතය දක්වා, නවදහස් පන්සිය සත්පනසක් පමණ ඇති සූත්‍ර සමූහයෝ අන්තර්ධාන වෙති. පසු ව සංයුත් සඟියෙහි මහා වර්‍ගය, සළායතන වර්‍ගය, ස්කන්ධ වර්‍ගය, නිදාන වර්‍ගය, සගාථා වර්‍ගය යි පඤ්ච මහා වර්‍ගයෝ මෙසේ අග පටන් පිරිහී සත්දහස් සත්සිය දෙසැටක් ප්‍රමාණ ඇති විසිතුරු වූ සූත්‍ර සමූහයෝ අන්තර්ධානවෙති. නැවත මජ්ඣිම නිකායෙහි උපරි පණ්ණාසකය, මජ්ඣිම පණ්ණාසකය, මූලපණ්ණාසකයයි තුන්පණ්ණාසකය ද එසෙයින් ම පිරිහී එක්සිය දෙපනසක් ප්‍රමාණ ඇති මහා සූත්‍ර සමූහයෝ අන්තර්ධාන වෙති. ඉක්බිත්තෙන් දීර්ඝ නිකායෙහි දු අග පටන් පාඨියවර්‍ග, මහාවර්‍ග, ශීලස්කන්ධ වර්‍ග දක්වා සිටි සූතිසක් ප්‍රමාණ වූ මහා සූත්‍ර සමූහයෝ ද බ්‍රහ්මජාල සූත්‍රාන්ත කොට අන්තර්ධාන වෙති. නැවත කුදුගත් සඟියෙහි ඛුද්දක පාඨ ය, ධර්‍මපදය, උදානය, ඉතිවුත්තකය, සූත්‍රනිපාතය, විමානවස්තුය, ප්‍රෙතවස්තුය, ථෙරගාථාය, ථෙරිගාථාය, නිර්දේශය, ප්‍රතිසම්භිදාය, අපාදානය, බුද්ධවංශය, චරියා පිටක යයි අග පටන් ක්‍රමයෙන් පිරිහී පන්සිය පනස් ජාතකය විනය පිටකය හා කාලයක් රක්‍ෂා කොට භික්ෂුහු ශාසනය රක්‍ෂා කෙරෙති.

එ කල මෙසේ කාලයක් ගිය කල පන්සිය පනස් ජාතකය ද ක්‍රමයෙන් අග පටන් ම පිරිහෙනුයේ පළමු කොට වෙස්සන්තර ජාතකයෙහි වන වර්ණනාව දැඩි හෙයින් පිරිහෙයි, ධර්‍මකථිකයෝ වනයක් සේ ඒ වනයට නො වැද පන්වාලා ජාතකය පමණක් බණ කියති, පසු ව ජාතකය ද පිරිහෙයි. මෙසේ ම පිළිලොමින් විධුර ජාතකය, නාරද කාශ්‍යප ජාතකය, භූරිදත්ත ජාකතය, ඛණ්ඩහාළ ජාතකය, මහා උම්මග්ග ජාතකය, නිමි ජාතකය, සාම ජාතකය, මහා ජනක ජාතකය, මුගපක්ඛ හෙවත් තේමිය ජාතක ය යි මෙසේ දස මහා ජාතක අන්තර්ධාන වෙයි. එයින් මත්තෙහිදු අශීති නිපාත, සත්තති නිපාත, සට්ඨි නිපාත, පණ්ණාස නිපාත, චත්තාළිස නිපාත, තිංස නිපාත, වීසති නිපාත, පකිණ්ණක නිපාත, තෙරස නිපාත, ද්වාදස–එකාදස නිපාත, දස-නව-අට්ඨ නිපාත, සත්ත නිපාත, ඡ–පඤ්ච නිපාත, චත්තාරි-තික-දුක-එක නිපාත යයි. මෙසේ ද්වාවීසති නිපාතයෙහි පන්සිය පනස් ජාතක සමූහයෝ ම අපණ්ණක ජාතකාවසාන කොට අන්තර්ධාන වන්නාහු ය.

එ කල විනය පිටකය පමණක් කලක් පවත්වා භික්‍ෂූහු ශාසනය රක්ෂා කෙරෙත් ම ය. එයි දු පිරිහෙනුයේ අග පටන් ම සොළොස් පරිවාරය, ද්වාවිංශති ප්‍රභේද වූ චූළ වර්ග-මහා වර්ගයෙහි කඳුවත් අන්තර්ධාන ව, පසු ව උභය විභංග සංඛ්‍යාත වූ පරිජි - පචිති අන්තර්ධාන ව සතර පාරාජිකා ධර්‍මයෝ කිසි කලක් පැවත, ඔහු ද අන්තර්ධාන වෙති. මෙසේ බුදුන්ගේ පිටකත්‍රයෙහි සුවාසූ දහසක් ධර්‍මස්කන්ධයන් අග පටන් මුල දක්වා ක්‍රමයෙන් පිරිහී හැමදෙනා ම අන්තර්ධාන වූ කල්හි, බුදුන්ගේ ත්‍රිවිධ වූ ශාසනයම අන්තර්ධාන වූවා නම් වෙයි. එ කලට බුදුන් පිරිනිවී පන් දහසක් හවුරුදු ද අතික්‍රාන්ත ව බුද්ධෝත්පාදක්‍ෂණ සම්පත්තිය ද සත්ත්‍වයාට අන්තර්ධාන වූවා නම් වෙයි.

ඒ කාලය නම්: සඳ නැති රාත්‍රියක් වැන්න, හිරු නැති දහවලක් වැන්න, සිත් නැති රුවක් වැන්න, ගුණ නැති ළයක් වැන්න, හස් නැති වෙලක් වැන්න, මස්නැති විලක් වැන්න, පියුම් නැති සරසියක් වැන්න, රජුන් නැති රටක් වැන්න, මනුෂ්‍යයන් නැති ජනපදයක් වැන්න, හර නැති ගසක් වැන්න, පහන් නැති ගබක් වැන්න. සත්ත්‍වයෝ තිරිසනුන් වැනියහ, මෙලෝ-පරලෝ නොදන්නාහ, සුගති දුගති නො දන්නාහ, අන්‍ධකාරයෙහි ගමන් යනුවන් සේ මෙලෝ-පරලෝ මේ ය යි නොදැන කල් යවන්නාහ. එ දවස් උපදනා රජදරුවෝ මෙ දවස් උපදනා රාසොඬුන් නො වටනාහ, දැන් රා සොඬු රා බී මත්ව නන් දොඩන්නාහු තිලකුණෙන් යෙදුණා වූ බස් කියන්නාහු ම ය, තුණුරුවන්ගේ නමුත් කියන්නාහු ම ය; එසේ හෙයින් දැන් උපන් සත්ත්‍වයෝ ම දිවි ලදුවාහු ම යයි සත්පුරුෂයන් විසින් දතයුතු.

මෙසේ සද්ධර්‍ම ශාසනය අන්තර්ධාන වූ කල්හි, එ කල උපන් රජදරුවෝ බුදුන්ගේ පවත් මුඛ පරම්පරාවෙන් අසා ඒ බුදුන්ගෙන් දහම් පදයක් දන්නෝ කවුරුදෝ හෝ යි විචාරා දන්නවුන් නො දැක මඟුලැක් හු සරහා ඇතුන් පිට ඝන රන් දහසින් බැඳ පියලි තබා, සේසත් කරවා, බෙර-සක්-තිඹිලි ආදීන් මහත් වූ තූර්‍ය්‍යනාද කරවමින්, ඒ ඒ දිග්හි ඇවිදුවා “බුදුන්ගෙන් චතුෂ්පදික වූ එක ගාථාවකුත් දන්නා කෙනෙක් ඒ අප රජහට කියා මේ ඝන රන් දහසින් බඳ පියලි ගන්ව” යි කියා ඇවිදුවති. එ කල අමාත්‍යයෝ මෙසේ ම තුන් වාරයක් ඒ ඒ දිග්හි ඇවිද එක ගාථාවකුත් දන්නවුන් නො දැක, නැවත රජුන් කරා අවුදින් “දේවයිනි! දහමැ යි යන දෙයක් දන්නෝ නැත, ලෝකය ධර්‍මයෙන් ශූන්‍ය වී ය, ශූන්‍ය විය” කියා ඒ ඝනරන් පියලි භාණ්ඩාගාරයට ම නංවති. එ කල බුදුන්ගේ පර්‍ය්‍යාප්තිය පිරිහුණුවා නම් වෙයි.

එ කල ධාතු පරිනිර්‍වාණය ද වෙයි. හේ කෙසේ ද යත්? වෙසඟ මැදි පොහෝ ලද වෛශාඛ යෝගය යෙදුණු දවස් මේ සියලු ශ්‍රී ලඞ්කාද්වීපයෙහි මහියංගන, දීඝනක, කැළණි, තිස්ස මහ වෙහෙර, ගිරිහඬු, මැඩිලිගිරි, දඹුළු, මහසෙන්ගමු, මිහින්තලා, දෙනානක, බගිරිනක, තුඹුරුපා ආදි වූ සුවහස් ගණන් මහසෑ කුස්වල පිහිටි නො එක් ධාතූන් වහන්සේ ඒ ක්‍ෂණයෙහි ම ඒ ඒ දාකුස් හැර ආකාශයට පැන නැඟී ගමන් ගත් නකක් තරු පෙළක් සේ, අනුරාධපුර නුවර රුවන්වැලි මහ සෑ කුස දුටුගැමුණු රජ්ජුරුවන් කැරවූ අසූ රියන් මහාධාතු ගර්භයෙහි මැද පිහිටියා වූ කෙළක් අගනා රිදී යහනෙහි පස්පෑලක් පමණ ධාතූන් වහන්සේ හා එක තෙනට පැමිණෙන සේක. එ කල් දක්වා එ දාකුස නැඟු සිංහතෙල පහන් නො නිවි තිබී, එ දවස් එපානද නිවී යයි, එ වේලෙහි සියලු ලක්දිව සියලු ධාතූන් වහන්සේ එ තැනින් අහස් කුසට පැනනැඟී එක හුයක අවුලු මුතුවැල පෙළක් සේ ඔවුනොවුන් පසු පසුයෙහි නික්ම මණිනාග දිවයින එ දවස් දෙමයිල් නාරජුන්ගෙන් පිළිගෙන අප බුදුන් වැඩ හිඳ බණ දෙසු මිණිපලඟ මතුයෙහි රැස්වන සේක. එයින් නො එක් කෙළගණන් දිව්‍ය නාගරාජයන්ගෙන් පූජා ලදින් ඒ මිණිපලඟ හා සමග ආකාශයට පැනනැඟී ගොස් බෝමැඬ අප බුදුන් මරසෙන් බිඳ බුදුවූ අපරාජිත භූමියට බස්නා සේක.

එ කෙණෙහි දිව්‍යලෝක-බ්‍රහ්මලෝක-නාගලෝකාදි ඒ ඒ තැන්හි පිහිටි ධාතූන් වහන්සේ ද, අවශේෂ වූ ඒ ඒ කොදෙවුවල පිහිටි ධාතූන් වහන්සේ ද, දඹදිව දසථූපාදී ඒ ඒ රාජධානිවල පිහිටි ධාතූන් වහන්සේ ද, ඒ ඒ තැනින් පැනනැඟී පියුම් විළක් කරා දිවන රාජහංස සමූහයක් සේ, බුදුන්ගේ පශ්චිම දර්ශන නමැති මේඝ කාලයෙහි ගුවන්කුස් පැනනැඟී දිවන බලාකා පන්ති සේ, ආකාශයෙන් වැඩ බෝමැඩ එම ධාතූන් වහන්සේ හා එක් වන සේක. එ කල බුදු වූ දවස් සේ ම පොළොව පළා ගෙන තුදුස්රියන් වජ්‍රාසනයෙක් පැන නැඟී ඒ ධාතු පිළිගන්නී ය.

එ වේලෙහි ඒ සියලු ධාතූන් වහන්සේ ම ජීවමාන වූ බුදුන් ගේ රූපය මවා ලලාට ධාතූන් වහන්සේ ලලාටයෙහි ම පිහිටන සේක. ඒ මතුයෙහි උර්‍ණලොම ධාතුන්වහන්සේ පිහිටන සේක, අකුයෙහි අකුධාතුන් වහන්සේ පිහිටන සේක, සතර දළදා වහන්සේ සතර දන්ත ස්ථානයෙහි ම පිහිටන සේක, ග්‍රීවධාතුන් වහන්සේ ග්‍රීවයෙහි ම පිහිටන සේක, දෙකෙළ පනස් ලක්‍ෂයක් පමණ කේශධාතුන් වහන්සේ ඒ ඒ ස්ථාන නො වරදවා ම පිහිටන සේක. නවානූදහසක් ලෝමකූප ධාතුන් වහන්සේ ද ඒ ඒ ලෝම කූප නොවරදවා ම පිහිටන සේක. අවශේෂ වූ තුන් තරමෙහි විසුරුණා වූ බුදුන්ගේ සොළොස් නැළියක් පමණ ධාතුන් වහන්සේ ද තමන් තමන් වහන්සේ පෙර පිහිටි පිහිටියා වූ ස්ථානයෙහි නො වරදවා ම පිහිටන සේක. ඉක්බිත්තෙන් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණ හා පෙර සේ ම නිර්මිත වෙයි. එ කල බුදු වූ දවස් සේ ම සියලඟින් සවනක් රස් හැර සියලු ලෝකධාතු ඒකාලෝක කරන සේක. එ වේලෙහි දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මයෝ බුදුරස් දැක “අද අප බුදුන්ගේ ධාතු පරිනිර්‍වාණ දිනය වන, කෙළවර පානා පෙළහර බලම්හ”යි නො එක් පූජාභාණ්ඩ ගෙන අවුදින් බෝමැඬ සිසාරා තුන්ලොව පුරා සිටගන්නාහු ය.

එ වේලෙහි ධාතු බුදුහු ආකාශයට පැනනැඟී ගණ්ඩම්බ නම් වෘක්‍ෂමූලයෙහි දී පෑ යමක ප්‍රාතිහාර්‍ය්‍ය සේම, මහ පෙළහර දක්වා, නැවත ආකාශයෙන් බැස බෝමඬ විදුරසුන් නැඟී වැඩහිඳිනා සේක. එ වේලෙහි ඒ ධාතු ස්කන්‍ධයෙන් තේජොස්කන්‍ධයෙක් පැනනැඟී බෝමඬ පටන් බ්‍රහ්මලෝකයට ඇවිළ සිටගෙන ධාතු ආදාහන වන්ට පටන් ගනිති. එ වේලෙහි දසදහසක් සක්වළින් රැස්වූ දෙවියෝ “අප බුදුන්ගේ මේ පශ්චිම දර්ශනය ය, අද තුන්වනු වූ ධාතුපරිනිර්‍වාණය ය, බුදුකෙනෙකුන්ගේ නමක් කප් අසංඛ්‍යෙයකිනුත් ඇසිය නො හැක්ක, දැක්ක නො හැක්ක, එසේ වූ බුදුහු අද අන්තර්ධාන වෙති, අහෝ ඛේදය, අහෝ ඛේදය, ලෝකය ශූන්‍ය වි ය, ශුන්‍ය වී ය”යි කිය කියා අහස්කුස් පුරා සිටි දෙවියෝ මිහිමඬලෙහි කඳුළුධාරා නමැති මහවැසි වස්වති, එ කල අබබීජක් සා ධාතුවකුත් නො තිබී සැම ධාතු ම ආදාහන වූ කල් ගිනිකඳ තෙමේ ම අන්තර්ධාන වෙයි. එ කෙණෙහි ඒ ඒ තන්හි පිහිටියාවූ දිව්‍ය නිර්මිතාදී ප්‍රතිමාද, ශිලාරූප – කාෂ්ඨරූප− ලොහරූප-රජතරූප-ස්වර්ණරූපාදි සියලු බුද්ධප්‍රතිමා ද අන්තර්ධාන වෙයි. එ කල දසදහසක් සක්වළ ආකාශයෙහි සහ පිරිවරින් සිටියාවූ එක්ලක්‍ෂ පනස්දහසක් මහා බ්‍රහ්මරාජයන් හා අනූදහසක් කාමාවචර දිව්‍යරාජයන් හා බොධි මණ්ඩලයට බැස තමන් තමන්ගේ භෝග පමණින් මහත් වූ දිව්‍ය පූජා කරන්නාහු පරිනිර්‍වාණ පූජාව සේ ම අප්‍රමාණ වූ පූජා කොට යන්නාහ.[94]

මෙසේ මාගේ බුදුහු තමන් වහන්සේගේ ධාතු පරිනිර්‍වාණ දිනයෙහි පවා මේ සා මහත් වූ දිව්‍යපූජාවන් ලබන හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ බුදුහු අර්හත් නම් වන සේකැ යි දතයුතු.

ධාතු පරිනිර්වාණ පූජා කථා මෙසේ දතයුතු.

ප්‍රථම සඞ්ගායනා

තව ද: ත්‍රිවිධ වූ සංගායනා පූජා කථා නම් කවර යත්? යට කී ක්‍රමයෙන් බුදුන් යමහල දී පිරිනිවි කල්හි මහසුප් මහ තෙරුන් වහන්සේ බුදුන්ගේ ආදාහන පූජාව කරවා, සුගත් මහ පවුල හා බුද්ධරාජ්‍යය ලදින්, අනුබුද්ධවූ සේක්, එ දවස් ආදාහනයට රැස් වූ සත් ලක්‍ෂයක් මහාස්ථවිරයන් හා ප්‍රමාණාතික්‍රාන්ත භික්‍ෂූන් අතුරෙන් බුදුන් කෙරේ මහණ ව ඒහි භික්ෂු පාලියට නැඟී තුන් පිටකධර වූ, උනු පන්සියක් මහ රහතන් තෝරා ගෙන රජගහා නුවර වැඩ අජාසත් රජ්ජුරුවන් ගෙන්වා, “මහරජ! බුදුන් විසින් දෙසුවාවූ ධර්‍මය නො එක් ජාතියෙහි, මල් එක මලස්නෙක සැළුවා සේ ඒ ඒ සත්ත්‍වයන් උදෙසා දෙසාපු හෙයින් පිළිවෙළක් නැති ව අනාගතයෙහි නො පවත්නා ලෙස තුබුයේ ය, එසේ හෙයින් දැන් මම ධර්‍ම සංගායනාව කරනු කැමැතියෙමි, ඒ සංගායනාවට මිථ්‍යාදෘෂ්ටි ආදීන්ගෙන් වන්නා වූ අන්තරාය ඇත. රජකුගේ පිටු බලයක් නැති ව කළ නො හැක්ක, එසේ හෙයින් මහරජ මට සහාය වව”යි වදාළ සේක.

එ වේලෙහි අජාසත් රජ්ජුරුවෝ “මැනව ස්වාමීනි” යි ගිවිස තමන් කරන ධාතුපූජාව නොකඩ කොට කරනසේ අමාත්‍යයන්ට නියෝග කොට තුමූ එනුවර පිරිවරා සිටි අටළොස් මහාවිහාරය ම නවකර්මාන්ත නිමවා, එ නුවරට දකුණුදිග වේහාර නම් පර්‍වතද්වාරයෙහි විශ්වකර්‍ම නිර්මිතයක්සේ අසාධාරණ වූ රුවන් මණ්ඩපයක් නිමවා කනක-රජත-මණිතාරකාවෙන් විසිතුරු වූ වියන් බඳවා ලක්‍ෂයක් වටනා බුමුතුරුණු අතුරුවා, සිසාරා අනැඟි තිර අද්දා, පන්සියක් ආසන පනවා, මධ්‍යයෙහි කෙළක් අගනා ධර්‍මාසනයක් පනවා නිමවා, එහි දන්තමය වූ වීජනියක් තබා, සිසාරා රකවල් ලවා, මහසුප් ස්වාමීන් කරා ගොස්, “ස්වාමීනි! යම් දවසෙක ධර්‍ම සංගායනා නිමා ද, එ දවස් දක්වා රැස් වූ යම් පමණ භික්ෂුන්ට සිවු පස දානය ද සද්ධර්‍ම පූජා ද, මට ම භාර ය, ධර්‍ම සංගායනා කළ මැනැවැ”යි ආරාධනා කළහ.

එ කල මහසුප් මහ තෙරුන් වහන්සේ අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්‍දයෙනි! ධර්‍මසංගායනාව තොප නැතිවත් කළ නො හැක්ක, තොප අධිගමය නො කළ හෙයින් ඇතිවත් කළ නො හැක්ක, ධර්‍මභාණ්ඩාගාරය බුදුහු තොප අත තබා වදාළ සේක, එසේ හෙයින් ඇවැත්නි! වීර්‍ය්‍ය කරව”යි වදාරා උනු පන්සියයක් රහතන් ගෙන අනඳ මහ තෙරුන් වහන්සේට අවකාශ තබා තමන් තමන් වහන්සේට පැන වූ ආසනවල වැඩහුන් සේක.

එ කල අනඳ මහ තෙරුන් වහන්සේ තුන්යම් රාත්‍රියෙහි සක්මන් කොට, භාවනා කොට, අධිගමයක් නො ලදින් “අලුයම් වේලෙහි මඳක් කය සතපා වීර්‍ය්‍ය කෙරෙමි”යි සිතාලා ශයනස්ථානයට වැඩ ශ්‍රී හස්තය ඇඳ පිට තබාලීමත්, දෙපය ඔසවාලීමත්, අමා මහ නිවන් දැකීමත්, මේ තුන ඒකක්‍ෂණයෙහිම විය. මේ බුදුසස්නෙහි නො හිඳ, නො හෙව, නො සිට, නො ඇවිද, රහත් වූ අනඳ මහතෙර ස්වාමීන් හැර අනික් නැත්තාහු ම ය. මෙසේ රහත්වලා “මා අධිගමය ලත් නියාව දිව්‍ය–මනුෂ්‍යයන්ට සැක හරිමි”යි එ තෙකින් පොළොව කිමිද තමන් වහන්සේගේ ආසනයෙන් බාලාර්ක මණ්ඩලය සේ පැන නැඟි සේක.

එ කෙනෙහි මහසුප් මහතෙරුන් වහන්සේ “අද බුදුහු ඇත් නම් ආනන්‍ද ස්ථවිරයන්ට සාධුකාර දෙන සේක් ම ය” යි සන්තුෂ්ටව තුන් යලක් සාධුකාර දුන් සේක. එ කෙණෙහි දිව්‍ය මනුෂ්‍යයෝ ද සාධුකාර දුන්හ. ඉක්බිත්තෙන් මහසුප් මහ තෙරුන් වහන්සේ බුදුන් පිරිනිවී සාරමසක් ගිය කල නිකින්නිය අව දියවක ඒ රජගහා නුවර වේහාර නම් පර්‍වතද්වාරයෙහි දී මෙසේ පන්සියයක් රහතන් හා සමග සත් මසෙකින් පළමු වන ධර්‍මසංගායනාව කොට නිමවා වදාළ සේක. අජාසත් රජ්ජුරුවෝ ඒ සත් මස මුළුල්ලෙහි අප්‍රමාද ව දවසින් දවස ධර්‍මපූජා කළාහු ම ය.

ද්විතීය සඞ්ගායනා

එ තැන් පටන් අජාසත් රජ්ජුරුවෝ මහසුප් ස්වාමීන්ගේ විධාන වූ පරිද්දෙන් ඒ ඒ නුවරවල තුබු ධාතු රහතන් ලවා තමන්ගේ රජගහා නුවර මහා ධාතු නිධානයක් කරවා, ශාසනයට උපකාර ව බොහෝ කලක් එම නුවර වාසය කොට, පසුව පසල් දනව්වෙහි වැදි කෙනකුන් නිසා වැස්සන්ට භය මහත් හෙයින්, ඒ දනවුවට ගොස් ගංගා නම් ගංගාවෙහි ගොතම නම් තොටට නුදුරු තෙන පාටලී නම් නියම් ගම පාටලීපුත්‍ර නම් වූ මහ රජ නගරයක් කරවා එහි වැස දානාදී පින්කම් කොට රට රැක රාජ්‍යය කළාහු ය.

පසු ව ඔවුන් ගේ දරු උභයහද්ද නම් රජ පිය රජහු මරා එ නුවර හිඳ රාජ්‍යය කළේ ය. පසුව ඔහු පිත් අනුරුද්ධ නම් රජෙක් ද එම නුවර හිඳ රාජ්‍යය කෙළේ ය. පසුව ඔහු පිත් මහාමුණ්ඩ නම් රජෙක් ද එම නුවර හිඳ රාජ්‍යය කෙළේ ය. පසුව ඔහු පිත් නාගදාසක නම් රජෙක් ද එම නුවර හිඳ රාජ්‍යය කෙළේ ය. පසුව ඔහු පිත් සුසුනාග නම් රජෙක් ද එම නුවර හිඳ රාජ්‍යය කෙළේ ය. පියන් මරා රජ කළා වූ මේ මගධ රජුන් සදෙනා අයාමෙහි සත්වනු ව කාලා‍ශෝක නම් රජෙක් විය. ඕහට දසවන්නට අප බුදුන් පිරිනිවී හවුරුදු සියයෙක් පලා ගිය. එ කලට බුදුන් කෙරේ මහණ වූ භික්ෂු කෙනෙකුන් වහන්සේ ද නොම ඇත. අනඳ මහ තෙරුන් වහන්සේ කෙරෙහි මහණ වූ බුදුන් පිරිනිවන් පානා වකට ඉතා ලදරු වූ බුදුන්ගේ රූපය පමණක් දුටු විරූ සබ්බකාමි නම් මහ තෙර කෙනෙකුන් වහන්සේ එක්සිය විසි හැවිරිදි වයස් ඇති ව “බුදුන්ගේ රූප සම්පත්තිය මම බාලකල දුටු විරීමි” යි වදාරන සේක.

දඹදිවු වැසි බොහෝ සත්ත්‍වයෝ “උන්වහන්සේ බුදුන් හඳුනති”“යි අසා ගඳ දුම් මල් පහන් ගෙන, සිංහල ද්වීපවාසී සත්ත්‍වයන් සමනොළ දක්නට යන්නා සේ ම වැල නො කැඩී යෙයි. එ කලට දසදහසක් පමණ වැදී මහණහු විශාලා මහනුවරට එක් ව ධර්‍මය පෙරළා ගෙන දස වස්තුවක් උපදවා ශාසනය භේද කළාහු ය. එ කල යස නම් මහතෙර කෙනෙකුන් වහන්සේ දොළොස් දහසක් භික්ෂූන් අතුරෙන් සබ්බකාමී නම් මහතෙරුන් වහන්සේ ඇතුළු වූ සත්සියයක් පමණ රහතන් තෝරා ගෙන එම විශාලා මහනුවර වාලුකාරාමයෙහි දී කාලාශෝක නම් රජහුගෙන් ආරක්‍ෂා ඇතිව, අටමසෙකින් ධර්‍මසංගායනා කොට දසදහසක් අලජ්ජීන් දුරු කොට ශාසනය පරිශුද්ධ කොට වදාළ සේක. එකල ඒ කාලාශෝක රජ්ජුරුවෝ ද, ඒ අටමස මුලුල්ලෙහි දවස දවස අප්‍රමාණ වූ පූජා කළා හ.

තෘතීය සඞ්ගායනා

මෙසේ ඒ කාලාශොක නම් රජහු අයාමෙන් ඔහුගේ දරුවෝ: භද්‍රසෙන ය, කොරණ්ඩ ය, මංගුර ය, සර්වංජහ ය, ජාලික ය, උසභක ය, සඤ්ජය ය, කොරව්‍ය ය, නන්‍දිවර්ධන ය, පඤ්චමක ය යි යන දසබෑ රජහු රජ කළාහ. ඔවුන් අයාමෙහි උග්ගසේන නන්‍ද ය. පණ්ඩුක නන්‍ද ය, පණ්ඩුගති නන්‍ද ය, භූතපාල නන්‍ද ය, රට්ඨපාල නන්‍දය, ගොවිසාන නන්‍දය, දසසිද්ධක නන්‍දය, කෙවට්ට නන්‍ද ය, ධනපාල නන්‍දය යි යන නවනන්‍ද රජදරුවෝ එම නුවර හිඳ රාජ්‍යය කළහ. ඔවුන් අයාමෙන් පෙර විඩූඩභ යුද්ධයෙහි රටින් ගියා වූ ශාක්‍යපුත්‍රයන් විසින් කරන ලද මෝරිය නම් නුවර උපන්නා වූ එම ශාක්‍යවංශයෙහි උද්ගතවූ චාණක්‍ය නම් බමුණා ගෙන් උපදෙස් ලදින් චන්‍ද්‍රගුප්ත නම් රජෙක් එම පාටලීපුත්‍ර නම් නුවර රාජ්‍යය කෙළේ ය. පසුව ඔහු පිත් බින්දුසාර රජහුගේ එක්සියයක් පමණ පුත් කුමරුවෝ වූහ, ඔවුන් අතුරෙන් ධර්මාශෝක නම් කුමර පියරජහු අයාමෙන් පැනනැඟී තමා හා කුසහොත් තිස්ස නම් රජ කුමරුවා හැර, නව අනුවක් පමණ මල් රජුන් මරා, තමන් ගේ බාහු බලයෙන් ම ජයගෙන මුළු දඹදිවට සේසත් නඟා, දඹදිව හැමරජුන් තම හට සේවයට එන සේ ආඥා පතුරුවා එම පාටලීපුත්‍ර නම් නුවර රජ කෙළේ ය.

ධර්මාශෝක නම් රජ ඉතා මහත් වූ තෙජස් ඇතියේ ය. මහත් වූ ශ්‍රද්ධා ඇතියේය, මහත් වූ පින්බල ඇතියේ ය, ඔහුගේ ආඥා පොළොවින් යොදනෙක හා ආකාශයෙන් යොදනෙක පැතිරෙයි. අනවතප්ත විලින් සොළොස් කලයක් පැන් දවස දවස දෙවියෝ රජගෙට ගෙන දෙත්. එ රජ සැට දහසක් පමණ සංඝයා වහන්සේ තමාගේ යටිමාලේ දී දවස් පතා වළඳවයි. සොළොස් දහසක් පමණ පුර ස්ත්‍රීන් පිරිවරකොට ඇති අසන්‍ධිමිත්‍රා නම් අග බිසෝ කෙනෙක් ඇත, ඒ බිසොවු නම් කේශාන්තය පටන් පාදාන්තය දක්වා, අසවල් තෙනෙක සන්‍ධියෙක් ඇතැයි දැනගත නො හැක්ක. ජාම්බුනදයෙන් මවාලු කනක රූපයක් වැනියාහ, ඕතොම සැඟවී තිබෙන සන්‍ධි ඇති හෙයින් අසන්‍ධිමිත්‍රා නම් වෙති. ඒ බිසොවු මෙසේ වූ රූප ඓශ්වර්‍ය්‍ය පිනක් ගිය ජාතියෙහි මී දන් දෙන් ගෙයක් අත නඟා පෑලූ කුශලයෙන් ලදහ යි දත යුතු. මේ නාටක ස්ත්‍රීන්ටත්, භික්ෂුන්වහන්සේටත්, හිමාලයෙන් නාලිය දැවටි දවස් පතා දෙවියන් ලවා ගෙන්වා දෙති.

තව ද: දිව්‍යමය වූ ඇඹුල ද, දිව්‍යමය වූ අරළු ද, මහ දියකළ සා අඹ ද, දවස් පතා ම දෙවියෝ හිමාලය වනයෙන් ගෙනවුත් රජහට දෙති. තව ද: දවස් පතා පස්වනක් පෑ ඇති දිව්‍යශාටක යුග්මයක් හා රන්වන් අත්පිස්නාවක් හා දෙවියෝ ගෙන දෙත් ම ය. තව ද: දවස් පතා දිවසුවඳ හා දිවසමන්මල් පටක් හා දිව්‍යමය අඳුන්කැටක් හා නාගභවනයෙන් නයි ගෙනවුත් දෙති. තව ද: ඡද්දන්ත විලින් ස්වයඤ්ජාත වූ රත් හැල් නවදහසක් යාල ගිරවු ගෙනවුත් දවස් පතා බඩසල් පුරා යෙති. ඒ වී මීයෝ පොතු ගළවා සාල් කොට යෙති. හැම දාම රජහට ඒ රත්හැල් සාලේ බත් ම අනුභවයට වෙයි. මීමැස්සෝ අවුදින් මහා භාජන-කන්කුළු ආදි ස්ථානයෙහි මී බැඳ පුරා පෙදකුත් නො බී යෙති. චලස්සු යකඩ කර්‍මාන්තයෙහි කුළු ගසති. දිවියෝ දාවල් ම සරක් රැක සවස ආනා ගෙනවුත් ගෙරි ගාල්වල ලාලා රාත්‍රිභාගයෙහි තුමූ ගොදුරු සොයා කති. මධුරනාද ඇති පක්‍ෂීහු අවුදින් රජගෙයි පලපදනම් පිට හිඳ මධුරනාද පවත්වා සේවය කොට යෙති. මයුරයෝ අවුදින් රජහට පෙනෙන තෙන සිට නටා සේවය කොට යෙති.

ඒ ධර්මාශොක රජ මෙසේ වූ ආඥා තේජසක් කෙසේ වූ පින් බලයෙකින් ලදුයේ ද? යත්; ගිය දවස ගිලන් භික්‍ෂු කෙනකුන් දැක මී පාත්‍රයක් පුරා දන් දී “මේ පාත්‍රයෙහි මී ඉතිර බිම වැගිර ගියා සේ ම, මතු මුළු දඹදිවු තෙලෙහි මාගේ ආඥාව පැතිර පොළොවින් යොදනෙක දක්වා පවතීව යි, ඉතිර නැගි මධුබින්‍දු සේ ම මාගේ ආඥා ආකාශයටත් නැඟේව” යි කියා ප්‍රාර්ථනා කෙළේ ය. එ දා ඒ මී පාත්‍රය පුරා දන් දුන් පිනින් මෙ දා ධර්මාශෝක නම් රජ වි ය. එ දවස් ඒ භික්‍ෂූන්ට මී පිලට අත නගා පෑලූ ස්ත්‍රී මෙදා සොළොස් දහසක් ස්ත්‍රීන්ට නායක ව අසන්‍ධිමිත්‍රා නම් අගමෙහෙසින් වූහ යි දතයුතු.

.

තව ද: මේ ධර්මාශෝක රජ මෙසේ තුනුරුවන්හි ප්‍රසන්න වූ සිතින් දඹදිව රාජ්‍යය කරනුයේ දවසෙක ඇමැතියන් කැඳවා “බුදුන් සමයෙහි උපනිම් නම් මුළු දඹදිව රාජ්‍යය බුදුන්ට ම පූජා කෙරෙමි, මා පින් මඳ හෙයින් බුදුන් නො හැඳින්නෙමි, බුදුන් හඳුනන්නාහු කවුරු දැ”යි විචාළේ ය. අමාත්‍යයෝ “මාඤ්ජෙරික නම් නාගභවනයෙහි මහා කාළ නම් නාරජ්ජුරුවෝ කපකට ආයු ඇතියහ. මෙ කප බුදුවූ සතර බුදුන්ම දුටුවාහු ය”යි කීහ. රජ එ බස් අසා “ඒ නාරජු ගෙන්වා බුදුන් රූ බලම්හ”යි සිතා රන්හැකිල්ලක් කරවා තමන් අතින් ගෙන “තුණුරුවන්හි සැබවින් පැහැදියෙම් නම්, සැබැවින් ම සැදෑ ඇතියෙම් නම්, මේ හැකිල්ල ගොස් ඒ නාරජු බදා ගෙනෙව”යි සත්‍යක්‍රියා කොට පොළොවට ගැසීය. එකෙණෙහි මහපොළොව කපාගෙන පර්‍වතයක් පළා දිවන කඟ වෙණකු සේ ඒ හැකිල්ල පැකිල්ලක් නැති ව ඇසිල්ලෙකින් දිව ගොස් ඒ නාරජහු වාලධිය ගත නාරජ දිවසින් බලා රජ්ජුරුවන්ගේ අචල වූ ශ්‍රද්ධාබල හා තෙජස් දැක, එ කෙණෙහි ම දහස් ගණන් නා නළුවන් පිරිවරා රාජාංගනයෙහි පොළොව පළා පැන නැඟී රජ්ජුරුවන් පෙරට ව දෘශ්‍යමාන ව පෙනී සිටගත.

රජ්ජුරුවෝ ඒ කාළ නම් නා රජ්ජුරුවන් දැක උපචාර කරවා “සතර බුදුන් දුටුදැ”යි විචාළහ. “මහරජ! දිටිමි”යි කීහ. එ බසට රජ්ජුරුවෝ සාධුකාර දී දොහොත් මුදුනෙහි තබා ගෙන “සතර බුදුන්ගේ වෙස් මවා මා දක්වව” කීහ. නා රජ්ජුරුවෝ “මම සරා ගියෙමි, බුදුහු අරාගි සේක, මා තබා මහබඹු වී නමුත් බුදුන් රූපය සකසා දක්වාලිය නොහේ ම ය. එසේ වී නමුත් බුදුන් රුව ඒකලේශයක් බැලුව මැනවැ”යි කියාලා කකුසඳ බුදුන්ගේ සතලිස් රියන් බුද්ධකාය මවාගෙන සතළිස් දහසක් රහතන් පිරිවරා ඒ බුදුන්ගේ ලීලා දක්වා මොහොතක් කල් අහස්කුස සිටියේ ය. එ කෙණෙහි රජ්ජුරුවෝ ප්‍රීතිමත් ව “ජීවිතයෙහි ඵල ලදිමි”යි කියා සාධුකාර දුන්හ. දෙවනු ව කෝණාගමන නම් බුදුන්ගේ තිස්රියන් බුද්ධකාය මවා තිස්දහසක් පමණ රහත් ගණයා හා සමඟ අහස්කුස පෙනීගියා සේ දක්වාලීය. එවේලෙහි රජ්ජුරුවන් හා මහපිරිස සාධුකාර සහස්‍රයෙන් පූජා කළ හ. තුන්වනු ව කාශ්‍යප නම් බුදුන්ගේ විසිරියන් පමණ බුද්ධකාය මවා විසිදහසක් පමණ රහත් ගණයා සමඟ අහස්කුස වැඩසිටියා සේ දක්වා ලී ය. එ වේලෙහි ද මහත් වූ උත්සවයෙන් පූජා වි ය. සතරවනු ව අප මහා ගෞතම බුදුන් වහන්සේගේ දෙතිස්මහා පුරුෂලක්‍ෂණ අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් විරාජමාන වූ අටළොස් රියන් බුද්ධකාය මවාගෙන බෝමඬ වජ්‍රාසන පැනනැඟී මාරපරාජයෙහි වැඩහුන්නාවූ ශ්‍රීවිලාශය දක්වා ලී ය. එකෙණෙහි රජ්ජුරුවෝ බුද්ධාලම්බන ප්‍රීතීන් පිනා මුළු දඹදිව රාජ්‍යය බුදුන්ට පුදා සොළොස් දහසක් පුරස්ත්‍රීන් හා සමඟ අනිමිස ලෝචනයෙන් බුදුන් වැඳ සිට සත් දවසක් මුළුල්ලෙහි පූජා කළහ.

එ තැන් පටන් දවස දවස වඩ වඩාලා තුනුරුවන්හි ප්‍රසන්න වූ රජ්ජුරුවෝ මුළු දඹදිවු තෙලෙහි සුවාසූ දහසක් රාජධානි ඇති කරවා බුදුන්ගේ එකි එකී ධර්මස්කන්‍ධයට එකි එකී රජමහා විහාරයක් බැගින් කරවමි”යි සිතා සයානූකෙළක් ධන වියදම් කොට සුවාසූදහසක් රාජධානියෙහි සුවාසූදහසක් දාගබ් බඳවා ධාතු පූජා කළ හ. සුවාසූදහසක් බෝධි පිහිටුවා බෝධි පූජා කළහ. සුවාසූදහසක් රත්වත් මහපා සඞ්ඝාරාම කරවා සඞ්ඝපූජා කළ හ.

මෙසේ තුන් හවුරුද්දක් මුළුල්ලෙහි සුවාසූදහසක් විහාර නිමවා රහතන් කරා ගොස් “ස්වාමීනි! මාගේ විහාරවල කොත්මඟුල් පූජා එක දා ම කරවනු කැමැත්තෙමි. හැම දක්නාත් කැමැත්තෙමි. දඹදිව මහත, කෙසේ මාගේ චිත්තප්‍රසාදය කොට ගනිම් දැ”යි විචාළහ. එ වේලෙහි රහතන් වහන්සේ “මැනැව මහරජ! සියලු වෙහෙරවල එක දවස් එක වේලෙහි ම පූජා කොට කොත් පලඳවන සේ නියෝග කොට කියා යව”යි වදාරා එ වේලෙහි රජ්ජුරුවන් අත අල්වා ගෙන ආකාශයට පැනනැඟී “සියලු විහාර පූජා ම මෝහට පෙනේව”යි අධිෂ්ඨාන කොට වදාළ සේක.

එකෙණෙහි රජ්ජුරුවෝ සුවාසූදහසක් විහාරපූජා ම විශේෂයෙන් දැක පස්වනක් ප්‍රීතින් පිනා දොහොත් මුදුනෙහි තබාගෙන සාධු සාධු බුද්ධශාසනයට හිමි වීමි, හිමි වීමි යි තුන්යලක් කීහ.

එ වේලෙහි රහතන් වහන්සේ “මේ රජ්ජුරුවන්ගේ දරුවන් නිසා ම මතු ශ්‍රීලඞ්කාද්වීපයෙහි සසුන් පිහිටවයි දැන ඔවුන් මහණ කරවනු සඳහා මහරජ ශාසනයට තව හිමි නුවූයෙහි වේ දැයි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ “ස්වාමීනි! මා වැනි ශ්‍රද්ධාවන්ත රජක්හු නුඹවහන්සේගේ ශාසනයට දායා ද නො ලද්දෝතින් කවරෙක් ලැබේ දැ” යි විචාළහ. මහරජ! දරු කෙනකුන් වදා වඩා බුදුසස්නෙහි මහණ කරවාලු කෙනෙක් ශාසනයට හිමියාහු ය. එසේ නො කළ කෙනෙක් කොතෙක් පින් කළාහු වූ නමුත් හිමි නො වන්නාහු ම වේ දැ”යි වදාළ සේක.

රජ්ජුරුවෝ “ඒ පිනත් පුරමි” යි සිතා දකුණැ’ළයෙහි සිටි මිහිඳු නම් පුත් කුමාරයන් මුහුණ බැලූහ. එ වේලෙහි මිහිඳු කුමාරයෝ පියාණන් ගේ අදහස් දැන “ස්වාමීනි! මම දැන් ම මහණ වෙමි” යි කීහ. වමැ’ළයෙහි සිටි සඞ්ඝමිත්තා නම් දියණියන් මුහුණ බැලූ හ. ඕ ද දැන්ම මහණ කැරවුව මැනැව”යි කීහ. එ වේලෙහි රජ්ජුරුවෝ ඉතා සතුටු ව එම පූජාවෙහි ඒ මිහිඳු නම් කුමාරයන් හා සඞ්ඝමිත්තා නම් දියණියන් හා දෙබිහින්නන් මහණ කරවා, බුදුසස්නට හිමි වූහ. මෙසේ ශ්‍රද්ධාවන්ත වූ රජ්ජුරුවෝ “මිථ්‍යා දෘෂ්ටි ගතුවන්ට බත් නො ලන්නේ ය”යි මුළු දඹදිව බෙර ලැවූහ.

එ කල දඹදිවු තෙලෙහි අළු ගා මිථ්‍යාදෘෂ්ටි ගත්තා වූ එක ද සත්ත්‍වයෙකුත් නැත. තීර්‍ථකයෝ බත් නොලදින් මහණවනු සඳහා විහාරවලට එති. භික්‍ෂූන් වහන්සේ ශාසනය භේද කෙරෙති යි සිතා ඔවුන් මහණ නො කරවන සේක. එ කල ඔහු තුමූ තුමූ සිවුරු සොයා ගෙන සැටදහසක් පමණ මිථ්‍යාදෘෂ්ටිගතුවෝ මහණව වෙස් වළා අලජ්ජීන් හා එක් ව ශාසනය කිලුටු කළහ. එ කල සත්හවුරුද්දක් මුළුල්ලෙහි රහතන් වහන්සේ පුද්ගලයන් නපුරු හෙයින් උපොෂථය නො කළ සේක. එ කල මොග්ගලි පුත්ත තිස්ස නම් මහ තෙරුන් වහන්සේ දසදහසක් පමණ රහතන් වහන්සේ හා සමඟ එම නුවර ධර්මාශෝක රජ්ජුරුවන් කරවූ අශෝක නම් ආරාමයෙහි වැඩහිඳ බුදුන් පිරිනිවි දෙසිය අටළොස් අවුරුද්දකින් එම ධර්මාශෝක රජ්ජුරුවන්ට සතළොස් වන්නෙහි එම රජ්ජුරුවන්ගෙන් ආරක්‍ෂා ලදින් නව මසකින් තුන්වන ධර්‍මසඞ්ගායනාව කොට සැට දහසක් පමණ අලජ්ජීන් දුරුකොට ශාසනය පරිශුද්ධ කොට වදාළ සේක.

මෙසේ තමන්වහන්සේ පිරිනිවී දෙසිය අටළොස් අවුරුද්දක් ඇතුළත පරිනිර්‍වාණ දිනයෙහි වර වාරණ නම් දිව්‍යපුත්‍රයා මාල ජාලාවෙන් කළ පූජා ය, දෙතිස් මහා පූර්වනිමිත්ත පූජා ය, එම වේලෙහි දසදහසක් සක්වළ දිව්‍යරාජයන් කළ පරිනිර්වාණ පූජා ය, මල්ල රජුන් කළ ආදාහන පූජා ය, සත් අවුරුදු සත් මස් සත් දවසක් මුළුල්ලෙහි අජාසත් රජ්ජුරුවන් දවස් පතා කළ ධාතු පූජා ය, සෙසු රජුන් ශක්ති පමණින් දවස්පතා කළ ධාතු පූජාය, අජාසත් රජ්ජුරුවන් සත්මසක් මුළුල්ලෙහි දවස් පතා කළ ප්‍රථම සංගායනා පූජා ය, කාළාශෝක රජ්ජුරුවන් අටමසක් මුළුල්ලෙහි දවස්පතා කළ ද්විතීය සංගායනා පූජා ය, ධර්මාශෝක රජ්ජුරුවන් නවමසක් මුළුල්ලෙහි දවස්පතා කළ තෘතීය සංගායනා පූජා ය, තව ද: එම ධර්මාශෝක රජ්ජුරුවන් කළ ජම්බුද්වීප පූජා ය, ඔවුන්ම කළ සුවාසූදහසක් පමණ චෛත්‍යඞ්ගණ පූජා ය, සුවාසූ දහසක් පමණ බොධ්‍යඞ්ගන පූජා ය, සුවාසූදහසක් පමණ සඞ්ඝාරාම පූජාය, තව ද: එම ධර්මාශෝක රජ්ජුරුවන් විසින් ම කරනලද අනිමිසලොචන පූජා ය, සාධුනාද පූජා ය, මිහිඳු කුමාරයන් හා සඞ්ඝමිත්‍රාවන් දෙදෙනාගේ මහණ පූජා ය.

තව ද, සත්ලක්‍ෂ පන්සියයක් ක්‍ෂීණාශ්‍රව ස්ථවිරයන් හා සමඟ මහාකාශ්‍යප ස්ථවිරයන් සද්ධර්‍ම ප්‍රතිෂ්ඨාවෙන් කළා වූ සම්‍යක් ප්‍රතිපත්ති පූජා ය. යශ නම් මහා ස්ථවිරයන් දොළොස් දහසක් මහ රහතන් හා සමඟ ශාසනප්‍රතිෂ්ඨාවෙන් කළාවූ විශේෂ වූ ප්‍රතිපත්ති පූජා ය, මොග්ගලි පුත්තතිස්ස නම් මහා ස්ථවිරයන් දසදහක් මහ රහතන් හා සමඟ ශාසන ශුද්ධතාවෙන් කළා වූ විශේෂ වූ ප්‍රතිපත්ති පූජා ය, මතු ලබන ධාතුපරිනිර්‍වාණ පූජා ය යි මෙසේ තුදුස් ලක්‍ෂ සත්පණස් දහස් නවසිය සයානූවක් පමණ උද්දෙසික පූජා ලත් හෙයිනුත්, මෙයින් පිටත් වූ අප්‍රමාණ පූජා ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේ කැ යි කියමි. එසේ හෙයින් පූර්වාචාරීන් විසින් කියන ලදුයේ මැයි;

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං-යි.

මේ පූජාවලියෙහි අප බුදුන් ධර්මාශෝකාදි ජම්බුද්වීප රජුන් ගෙන් ලද

උද්දේසික පූජා කථා නම් වූ දෙතිස් වන පරිච්ඡෙදය නිමි

33. සම්‍යක් ප්‍රතිපත්ති පූජා කථා

තව ද: මිහිඳු මාහිමියන් වහන්සේ මේ ලක්දිවට වැඩ බුදුසසුන් පිහිටුවා කළ සම්‍යක් ප්‍රතිපත්ති පූජා නම් කවරහ? යත්; එහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු:

මේ ශ්‍රී ලඞ්කාද්වීපය නම් අබුද්ධොත්පාද කාලයෙහි යක්‍ෂයන්ටම නිවාස වෙයි, බුද්ධෝත්පාද කාලයෙහි ම මනුෂ්‍යයන්ට වාසවෙයි. සමහර බුදුන්ගේ ප්‍රථම බොධියෙහි දී ම මෙහි යක්‍ෂයෝ ප්‍රලය ව මනුෂ්‍යයන්ට වාස වෙයි. සමහර බුදුහු තමන් වහන්සේ ම වැඩ යක්‍ෂයන් ප්‍රලය කොට මනුෂ්‍යවාසය කරවා සසුන් පිහිටුවන සේක. අනන්තාපරියන්ත වූ බුදුන්ගේ බොධිවල දක්‍ෂිණ ශාඛා හා ධර්‍මධාතු ශාසන ප්‍රතිෂ‍්ඨා වනු එකාන්ත හෙයින් මේ ලඞ්කාද්වීපය බුදුන්ගේ ම ය. තුනුරුවන් පිරූ භාණ්ඩාරයක් වැන්න. එසේ හෙයින් මේ ලක්දිව මිථ්‍යා දෘෂ්ටි ගතුවන්ගේ වාසය නම් පෙර යක්‍ෂයන්ගේ වාසය ස්ථිර නුවූවා සේම ස්ථිර නො වේ ම ය. මිථ්‍යාදෘෂ්ටි ගත් රජෙක් ලක්දිව බලාත්කාරයෙන් කිසි කලෙක රාජ්‍යය කෙළේ වී නමුත් ඔවුන්ගේ වංශ ප්‍රතිෂ්ඨා නො වනු බුදුන්ගේ ම ආනුභාව විශේෂයෙක් ම ය. එසේ හෙයින් මෙ ලක්දිව සම්‍යදෘෂ්ටි ගත් රජුන්ට ම සීහෙන හෙයින් උන්ගේ කුලප්‍රවෙණිය පවතින්නේ ම එකාන්ත ම ය. මේ මේ කාරණයෙන් ලංකාධිපති රජුන් විසින් බුදුන් කෙරෙහි ස්වභාව වූ ආදර බහුමානයෙන් ශාසන ප්‍රතිෂ්ඨාවෙහි අප්‍රමාද ව ආඥා චක්‍රය හා ධර්‍මචක්‍රය රක්‍ෂා කොට රාජ්‍යය කොට කුලප්‍රවේණිය රක්‍ෂා කට යුතු.

කකුසන්‍ධාදි තුන් බුදුවරුන් ලක්දිව වැඩමවීම

පූර්වයෙහි වූ සෙසු බුදුන් තබා මෙම කප පළමුව බුදුවූ කකුසඳ නම් බුදුරජාණන් සමයෙහි මේ ද්වීපය ඕජද්වීප නම. අනුරාධපුරය අභය පුර නම. රජ්ජුරුවෝ ද අභය නම්වූහ. මහමෙවුනා උයන මහාතීර්ථ වන නම; උයනට නැඟෙනහිර නුවර විය. පියල්කුළු නම් වූ මිහින්තලා ගල දේවකූට නම. එ කල ඒ අභය පුෂ්පය ආදිවූ ජනගහන ධන ධාන්‍යයෙන් සමෘද්ධ වූ මෙම ද්වීපය මුළුල්ලෙහි ජ්වර රෝගයෙක් ඇතිව, අප බුදුන් සමයෙහි විශාලා මහනුවර සේ ම ඉතා මහත්වූ ජනපීඩාවක්ව සකල සත්ත්‍වයෝ ම මියනට පටන් ගත්හ; බුද්ධානුභාවයෙන් යක්‍ෂයෝ ද්වීපයට වැද්ද නො හී මිනීකුණප ගන්‍ධයන් බල බලා පුල පුලා මුහුදු පිට සිසාරා සිටිති. එ කල කකුසඳ බුදුහු නො මඳ වූ මේ ඕජ ද්වීප වාසීන්ගේ පින් මඳ වූ බැව් දැන, උපන් මහා කරුණා ඇතිව, සතළිස් දහසක් පමණ ආර්‍ය්‍යගණයා පිරිවරාගෙන එ කෙණෙහි ම ආකාශයෙන් වැඩ, තරුපිරිවර සඳක් සේ දෙවකූටයට බැස සවනක් රසින් දසදිග් බබුළුවා “මේ ඕජ ද්වීපයෙහි සියලු මනුෂ්‍යයෝ ම මා දකිත්ව යි, මා දුටු කෙණෙහි ම සියලු රෝග අන්තර්ධාන වේව යි, නිදුක් ව ඇසිල්ලෙකින් අවුත් මා පිරිවරා සිටිත්ව”යි, අධිෂ්ඨාන කළ සේක.

එ කෙණෙහි ඒ අධිෂ්ඨාන චිත්තය හා සමඟ ගුවන් සඳ දක්නා වුන් සේ සියළු ද්වීපවාසීහු ම බුදුන් දැක නොයෙක් ජ්වරරෝග අන්තර්ධාන ව අමා දිය ලද්දවුන් සේ හොත් හොත් පොළින් පැන නැඟී ගමක් මැද ශාලාවකට රැස්වන්නවුන් සේ පර්වතය සිසාරා රැස්වූහ. එ කෙණෙහි රජ යුවරජ මහ ඇමතියෝ බුදුන් වැඳ මහත් වූ උත්සවයෙන් මහා තීර්‍ථ වන උයනට පවරා ගෙන ගොස් අලංකෘතවූ මණ්ඩපයක් නිමවා අනැඟි වූ බුද්ධාසනයක් හා සතළිස් දහසක් ආසන නිමවා මහත් වූ පූජාවෙන් උයන බුදුන්ට පිළිගැන්වූහ. එකෙණෙහි මහපොළොව ගුගුරා පැනනැගී සියලු උයනෙහි ගස් මුල පටන් අග දක්වා අකාල කුසුමයෙන් සැදී සිටගත. මේ පෙළහරෙහි පහන් සත්ත්‍වයෝ මහත් වූ පූජාවෙන් බුදුපාමොක් මහසඟ පිරිසට චතුමධුර දාන වළඳවා භෝග පමණින් ගන්‍ධ-පුෂ්පාදීන් බුදුන් පුදා එකත්පස් ව උන්හ. එ කල්හි බුදුහු බණ වදාරා සතළිස් දහසක් ප්‍රාණීන් සසරින් මුදා එ තෙන දිවා විහාර කොට, සවස මහ බෝ මලුවට වැඩ මොහොතක් ධ්‍යාන සුවයෙන් වැඩහිඳ නැඟී පූර්ව බුද්ධචරිතය කෙරෙමි යි සිතා දක්‍ෂිණ ශ්‍රී හස්තය බෝමැඬ දිසාවට දිගුකොට “මාගේ ශාසනයෙහි සෘද්ධිමත් භික්‍ෂුණීන් කෙරෙහි අග්‍ර වූ රුචිනන්දා නම් ශ්‍රාවිකා මාගේ ශ්‍රී මහා බෝධියෙහි දක්‍ෂිණ ශාඛාව ගෙන අවුත් මෙතැන්හි පෙනේව”යි අධිෂ්ඨාන කළ සේක.

එ කෙණෙහි ශ්‍රාවිකාවන් වහන්සේ ද බුදුන් සිතූ සිත දැන ඛෙමවතී නම නුවර ඛෙමවතී නම් රජහු ලවා සිරියෙල් රෙඛා දෙවා තෙමේ ම ස්වච්ඡින්නව ආකාශයට පැනනැඟී දක්‍ෂිණ ශාඛාව රන්තලියෙන් ගෙන, මහත් වූ දිව්‍ය පූජාවෙන් පන්සියයක් භික්‍ෂුණීන් හා සමඟ ආකාශයෙන් අවුදින්, බුදුන් දිගු කළ ශ්‍රීහස්තයට වඩාලූ දෑ ය. එ වේලෙහි බුදුහු අභය රජ්ජුරුවන් මුහුණ බලා “මහරජ! පෙර තොපගේ මේ ද්වීපයට ඉසුරු වූ පින්වත් රජුන්ගේ සිරිතක් කරව”යි ඒ රජහු ලවා ම බෝධි ප්‍රතිෂ්ඨාව කරව. එතෙනට උතුරු දිග්භාගයෙහි වූ එ කලට සිරීසමාලක යයි කියන ලද ලෝවාමහපා තන්හි වැඩහිඳ ධර්‍මදේශනා කොට විසිදහසක් ප්‍රාණින් සසරින් මුදා එයින් වැඩ ථූපාරාම භූමියෙහි වැඩහිඳ ධ්‍යානයෙන් නැගී බණ වදාරා එ විට දසදහසක් දෙනා සසරින් මුදා “මෙ තෙන වසා චෛත්‍යයක් කොට වැඳ පුදා සසරින් මිදෙව”යි තමන් වහන්සේගේ ධර්‍මකරකය පාවාදී, එම රුචිනන්‍දා නම් ශ්‍රාවිකාවන් හා පන්සියයක් භික්ෂුණීන් හා මහාදෙව නම් මහ තෙරුන් වහන්සේ හා දහසක් භික්ෂූන් මේ ද්වීපයෙහි ම රඳවා එයින් වැඩ දේවකූටයෙහි ආදිවූ මහසල සෑ පිහිටි තන්හි ම වැඩ සිට, සියලු ද්වීපවාසීන්ට අනුශාසනා කොට, සියලු සතුන් බල බලා සිටියදී ම, ජම්බුද්වීපයට වැඩි සේක. එ තැන් පටන් ඒ බුද්ධෝත්පාදය මුළුල්ලෙහි ම උපනුපන් රජදරුවෝ ද තුනුරුවන් පුදා නිවන් පුරම ගියහ.

තව ද: දෙවන කොණාගමන නම් බුදුන් සමයෙහි මෙම ද්වීපය වර දීප නම. මහමෙවුනා උයන මහා අනෝම වන නම. උයනට දකුණු දිග නුවර වඩ්ඪමානක පුර නම. සමිද්ධ නම් රජක්හු විසින් සියල්ලෙන් සමෘඬ විය; දේව කූටය සුමන කූට නම. එ කල්හි ශ්‍රීවන්ත චාතුර්‍වර්ණයන් විසින් හා දෙවඟනන් බඳු වරඟනන් විසින් හා ගවමහිෂාදි සියලු සම්පත්තීන් ශ්‍රීවන්ත වූ වර දීපය කලාතුරක් වැසි නැති ව, අප බුදුන් සමයෙහි බැමිණිටියා සාය සේ ම මහත් වූ දුර්භික්‍ෂ භයකින් ආකුල ව, ආහාර විපත්තියක් විය. බුදුන්ගේ දේශනාව නම් තිලකුණු පර්‍ය්‍යන්ත කොට ඇති හෙයින් බුදුහු කල් බලා සත්ත්‍වයන්ට උපන් දුර්භික්‍ෂ භය දැක, දුඃඛයක් උපන්කල සත්ත්‍වයන් ශ්‍රද්ධාවෙහි පිහිටුවාගත හැක්කැයි සිතා තිස් දහසක් රහතන් හා සමඟ ආකාශයෙන් වැඩ සුමනකූට මස්තකයෙහි පෙර බුදුන්ගේ පාදලාඤ්ජන ස්ථානයෙහිම වැඩ සිට දසදිග් බලා “මේ ද්වීපයෙහි වැවු අමුණු පුරා මෙකෙණෙහි වැසි වසීව”යි සිතා වදාළ සේක.

එ කෙණෙහි ස්වාමිදරුවන් සිතූ සිත හා සමඟ ම අහස් නමැති දර්පණයෙහි පර්‍වතයන්ගේ ඡායා පෙනෙන්නා සේ නීල මෙඝකූට ශතයෝ පෙනෙන්නට පටන් ගත්හ; අහස් කුස්හි මනන්නට ඉන්‍ද්‍ර නීලමාණික්‍ය යෂ්ටීන් ඔසවා ගන්නා සේ ශත සහස්‍ර ගණන් මේඝ යෂ්ටීහු පෙනෙන්නට පටන් ගත්හ; බුද්ධපූජාවට දෙවියන් තූර්‍ය්‍ය ඝෝෂාව පටන් ගන්නා සේ අහස මේඝනාදයට පටන්ගත: බුද්ධපූජාවට දෙවියන් නැඟූ දිවතොරණ සේ දෙවුදුනු දහස් ගණන් පෙනෙන්නට පටන්ගත; ඒ ඒ දිග්හි දෙවියන් පුදන ධ්වජ මාලාවක් සේ විදුලිය දහස් ගණන් පෙනෙන්නට පටන්ගත. දෙවියන් බුදුන්ට පුදන මුක්තා කලාපයන් සේ ජලධාරා සහස්‍රයෝ නීලමේඝ කූටයන් පළා නික්මුණහ. වර්ෂාවෙහි නො තෙමෙම්හ යි පිල්කුඩ ඉසට ගත්තා සේ මයුරසහස්‍රයෝ පිඤ්ජාවර්‍තනයට පටන් ගත්හ. එ කෙණෙහි මේ ද්වීපය මුළුල්ලෙහි ඝන මහ වැස්සෙක් වැසි වැස වැවු-අමුණු-ගං හෝ පුරා ගෙන කෝපයෙන් රක්ත ව ඝර්‍ම නමැති සතුරා කොයි වන් දෝ හෝ යි සොයා ඇවිදිනා සේ තඹ වතුරු ධාරා ඒ ඒ දිග්හි දිවන්නට පටන්ගත. මෙසේ අකාල මේඝයෙන් බුදුහු ඝර්‍ම නිර්‍වාපණය කොට, වැසි අන්තර්ධාන කොට, තමන් වහන්සේ සියලු සතුන්ට පෙනී අපෝකසිණ සමාපත්තියට සමවැද සියලඟිනු දු දිය කඳු හැර ජන ශාන්ති කොට, පර්‍වත මුදුනෙහි රන්කඳක් සේ වැඩ සිටි සේක. මේ පෙළහරෙහි පහන් සියලු මේ වරද්වීපවාසී සත්ත්‍වයෝ බුදුන් කරා රැස් ව චරණනඛමයූඛයෙහි ගැලි ගැලී වැඳ බුදුන් මහා අනෝම නම් උයනට වඩා ගෙනාහ.

බුදුහු එ දා මහ පොළොව ගුගුරුවා ඒ උයන පිළිගෙන වළඳා අන්තයෙහි බණ වදාරා තිස්දහසක් ප්‍රාණීන් සසරින් ගළවා සවස් වේලෙහි පෙර සේ ම ඉටා ශෝභන නම් නුවර ශෝභන නම් රජහු ලවා උදුම්බර බොධියෙහි දක්ෂිණ ශාඛාව යට කී ක්‍රමයෙන්ම ස්වච්ඡින්න කරවා කනකදත්තා නම් ශ්‍රාවිකාවන් ප්‍රධාන වූ පන්සියයක් භික්‍ෂුණීන් ලවා මොහොතක් කලින් ගෙන්වා, සමිද්ධ නම්රජහු ලවා බෝධි පිහිටුවා එ කල නාගමාලක නම් වූ ලෝවා මහ පා භූමියෙහි වැඩහිඳ බණ වදාරා විසිදහසක් දෙනාට මාර්ග ඵල දී එයින් ගොස් ථූපාරාම භූමියෙහි වැඩහිඳ ධර්‍මදෙශනා කොට, දස දහසක් ප්‍රාණීන් සසරින් මුදා, විදුලියයක් වන් පටී ධාතුව හා එම කනකදත්තා නම් ශ්‍රාවිකාවන් ප්‍රධාන වූ පන්සියයක් භික්‍ෂුණීන් හා සුධර්‍ම නම් මහා ස්ථවිරයන් ප්‍රධාන වූ දහසක් භික්ෂූන් හා මේ ද්වීපයෙහි රඳවා එයින් සුදස්සන මාලක නම් වූ මහසල සෑ පිහිටි තැන වැඩසිට සියලු සතුන්ට අවවාද දී මේ ද්වීපයෙන් ජම්බුද්වීපයට ම වැඩි සේක. එ තැන් පටන් ඒ බුද්ධෝත්පාදය මුළුල්ලෙහි උප‘නුපන් රජදරුවන් හා හැම මනුෂ්‍යයෝ තුනුරුවන් පුදා නිවන්පුර පුරා ගියහ.

තව ද: තුන්වනු ව බුදු වූ කාශ්‍යප නම් බුදුරජාණන් සමයෙහි මේ ද්වීපය මණ්ඩද්වීප නම. මහමෙවුනා උයන මහාසාර උයන නම. ඊට පශ්චිම දිශාභාගයෙහි නුවර විශාලාපුර නම. ජයන්ත නම් රජෙක් රාජ්‍යය කෙරෙයි, සුමන කූටය ශුභ කූට නම; එ කල මේ ද්වීප වාසීන් හා රජ-යුවරජ-මහ ඇමතියෝ දෙභාග ව ඔවුනොවුන් කෙරෙහි මන් බැඳ මහත් වූ සංග්‍රාමයක් කරන්නාහු සිවුරඟ සෙන් ගෙන යුද්ධයට සන්නද්ධව ඔවුනොවුන් මරා ලේ මුහුදු කරම්හ යි ප්‍රහාරයට පටන් ගත්හ. එකල ඒ බුදුහු ඒ සංග්‍රාමයෙහි නස්නා බොහෝ දෙනා දැක උපන් මහා කරුණා ඇති ව විසි දහසක් රහතන් පිරිවරා ආකාශයෙන් වැඩ ශුභකූටයට බැස මහ අඳුරක් මවා දෙදෙනෙක් ඔවුනොවුන්ට නො පෙනෙත් ව යි අධිෂ්ඨාන කොට අන්‍ධකාරයෙන් මුර්ඡා කරවා දෙවනු ව ඒ අඳුර දුරුකළ සේක. තව ද: සත්ත්‍වයෝ යුද්ධයට පටන් ගත්හ. නැවත සියලු ද්වීපය දුමවා, තව ද සත්ත්‍වයන්ගේ ක්‍රෝධය නුසුන් සේ දැක තෙජොකසිණ සමාපත්තියට සමවැද විසිරියන් උස බුද්ධකායයෙන් ගිනිකඳු හැර මුළු හෙළදිව එක ගිනි ගත් ගෙයක් සේ භයපත් කළ සේක.

එ කල සත්ත්‍වයෝ අහසින් දිවන ගිනිකඳු හා ගෙයි ගෙයි ඉස ඉස හෙන ගිනිපුලිඟු දැක “කොල! මේ කුමන භයෙක් ද, කප නස්නා දවසෙක් වන; අප ඔවුනොවුන් හා යුද්ධ කරනුයේ රාජ්‍යය නිසා වේ ද, දන් ඒ රජය දයි, අඹුදරුවෝ දති, සැපත් දයි, කෙත්වත් දසිදස් අපි ද දා මියම්හ, අප කරන්නේ කුමන යුද්ධ දැ”යි මරණ භයින් වෙවුලා අත අත තුබූ ආයුධ හෙළා ඔවුනොවුන් කෙරෙහි දයා බැඳ දෙ සෙනග සමඟ වූහ. මෙසේ බුදුහු කටුයෙන් කටු නැඟුවා සේ, සුගතාග්නියෙන් කෝපගිනි නිවා දෙ ගිනි අන්තර්ධාන කොට, ගුවන් සඳක් සේ සියලු සතුන්ට ම පෙනුණු සේක. එ වේලෙහි මනුෂ්‍යයෝ හැම දෙන ම බුදුන් දැක දොහොත් මුදුන් දී සිට “ස්වාමිනි! ගිනිදෙවියා නම් නුඹ ද, නොහොත් සූර්‍ය්‍ය දේවතාවා ද, නුඹ මුහුණ පුන්සඳක් වැන්න, සියලඟ අමාකඳක් වැන්න. එසේ බවක් මිස නුඹ ඇඟින් දිවු ගිනි ඉතා කර්කශ ය, දියෙනුත් ගිනි නැඟේ ද, ස්වාමීනි! නුඹ කෙසේ වූ කෙනෙක් දැ” යි විචාරා ලොවුතුරා බුදුන් බැව් දැන උදාර වූ සන්තෝෂයෙන් උත්සව කළහ.

ඉක්බිත්තෙන් බුදුහු එ දවසුදු මහපොළොව ගුගුරුවා එම උයන පිළිගෙන වළඳා අන්තයෙහි, දේශනා රශ්මින් විනේය ජන කුමුදු පුබුදුවා, විසි දහසක් ප්‍රාණීන්ට මාර්‍ගඵල දී සවස ශ්‍රී මහා බෝධි භූමියට වැඩ පෙර සේ ම අධිෂ්ඨාන කොට බරණැස බ්‍රහ්මදත්ත නම් රජහු ලවා නිග්‍රෝධ බෝධි දක්‍ෂිණ ශාඛාව ස්වච්ඡින්න කරවා සුධර්මා නම් ශ්‍රාවිකාවන් ප්‍රධාන වූ පන්සියයක් භික්‍ෂුණින් ලවා මොහොතක් කලින් ගෙන්වා ජයන්ත නම් රජහු ලවා බෝධි පිහිටුවා අශෝකමාලක නම් වූ ලෝවාමහපා භූමියෙහි වැඩහිඳ කළා වූ දේශනාවෙන් සාරදහසක් ප්‍රාණින් සසරින් මුදා එයින් ථූපාරාමස්ථානයට වැඩ බණ වදාරා දහසක් ප්‍රාණීන්ට මාර්‍ගඵල දී තමන් වහන්සේගේ ජලසාටකය හා සුධර්‍මා නම් භික්‍ෂුණින් ප්‍රධාන වූ පන්සියයක් භික්‍ෂුණීන් හා සර්‍වනන්‍ද නම් මහතෙරුන් ප්‍රධාන වූ දහසක් භික්‍ෂූන්වහන්සේ මේ ද්වීපයෙහි රඳවා, එයින් සෝමනස්ස මාලක නම් වූ තුන්වන මහසල සෑ තන්හි වැඩසිට සියලු මණ්ඩ ද්වීප වාසින් හා දෙවි මිනිසුන්ට අනුශාසනා කොට අහස්කුසයට පැන නැඟී තරු පිරිවරූ සඳක් සේ දඹදිව් ම වැඩිසේක.

මෙසේ විසිදහසක් හවුරුදු පැවැත්තාවූ ඒ කාශ්‍යප බුදුන්ගේ බුද්ධෝත්පාදයෙහිද මෙහි උපනුපන් සරාගික වූ සත්ත්‍වයෝ ද තුණුරුවන් පුදා නිවන් පුර පුරා ගියහ.

මෙ කප බුදු වූ තුන් බුදුන් මෙලක්දිවට වැඩි කථා සංක්‍ෂෙපයෙන් මෙසේ දතයුතු.

ගෞතම බුදුන්ගේ ප්‍රථම ලඞ්කාගමන

තව ද: සතර වනු ව බුදු වූ අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවූ නව වන මස උරුවේලා නම් දනව්වෙහි වැඩහිඳ “මතු මාගේ ශාසනය මා ආයාමෙහි නිර්‍මල කොට කොයි පිහිටා දෝ හෝ” යි බලා වදාරා මේ ශ්‍රීලඞ්කාද්වීපය දැක “ඒ දැන් යක්‍ෂයන්ට ම නිවාසය දැන් ම මම ගොස් ඒ යක්‍ෂයන් ප්‍රලය කොට ශාසන ප්‍රතිෂ්ඨාවට ආධාර වන සේ අරක්ගන්මි”යි සිතා වදාරා දුරුතු මැදි පොහෝ දිනයෙහි ලක්දිව් වැඩ ශ්‍රී ලඞ්කාද්වීප නමැති ඒ පද්මයෙහි කර්ණිකාවක් බඳුවූ මණිභෙද නම් දනවුවෙහි ලඞ්කාඞ්ගනාව පලන් මුක්තාහාරයක් බඳු වූ මහා වාලුකා නම් ගඩ්ගාව සමීපයෙහි දිග තුන් යොදුන්, පුළුල යොදුන් පමණ ඇති මහා නාගවන නම් ඒ උද්‍යානයෙහි කඳවුරු බැඳ අතුරු නො දී සතුරු ව හුන් මහා යක්‍ෂ කඳවුරට වැඩ ආකාශයෙහි සිට අහස පොළොව ගුගුරුවා යක්‍ෂයන් තැති ගන්වා පෙනී “අපටත් තිලින් වැද හිඳිනා තරම් අවකාශයක් දෙව”යි වදාළසේක. එ වේලෙහි යක්‍ෂයෝ “මේ උයන කුඩා හෙයින් සියුම් වෙස් මවා ගෙන ගැහැටි ගැහැටි වසම්හ, භවත්නි! තොපට කෙසේ අවකාශයක් දෙමෝ දැ”යි කීහ. එ වේලෙහි බුදුහු සියලඟ දුමවා දුම්කඳු හරනට පටන්ගත් සේක. එ වේලෙහි යක්‍ෂයෝ දුක්පීඩා විඳ “මොහු මහා ඍද්ධිවන්ත කෙනෙක, දැන්දක් දිලිහී ගියෝ නම් අප හැම දවා අළුමිටක් කරවා පියති, බිමක් අරුම්හ”යි මන්ත්‍රණය කොට ඔවුනොවුන් ඇඟ වැතිර වැතිර සම්කඩකට බිම් හැර “මහතාණෙනි! මේ අවකාශයෙහි වැඩහිඳුව, අපට අභය දානය දෙව”යි යාච්ඤා කළාහ. ඉක්බිත්තෙන් බුදුහු සඟල සිවුර සතරපටින් අතුට පුර්ව දිග් බලා වැඩහිඳ තේජොකසිණ සමාපත්තියට සමවැද සතරදිගින් ගිනිකඳු සතරක් මවා යක්‍ෂයන් කරා මෙහෙයූ සේක. එ කෙණෙහි ගිනි ගුගුරා දිවත් දිවත් යක්‍ෂයෝ ගිනි භයින් වෙවුලා ආදි සම්කඩකව බිම් දීගත නුහුනුවෝ තුන්යොදුන් උද්‍යාන භූමිය බුදුන්ටම අවකාශ කොට පිටතට දිවන දෑ, ගිනි ගුගුරා දිවන හෙයින් ලඞ්කාද්වීපය මුළුල්ලෙහි නො එක් පර්‍වත වන දුර්ගවලට වැද ගිය ගිය තැන්හිම ගිනිකඳු ම දිවන හෙයින් මේ සා මහත් ලඞ්කාද්වීපයෙහි අල්ලක් සා අභයස්ථානයකුත් නො ලදින් සියලු යක්‍ෂයෝ ම මුහුදු බත් වන්නට පටන් ගත්හ. එ වේලෙහි ස්වාමිදරුවෝ යක්‍ෂයන් කෙරෙහි අනුකම්පා ඇති ව යග්ගිරි දිවයින අධිෂ්ඨාන කොට ගෙන්වා යක්‍ෂයන් ඊට නංවා නිදුක් කොට දුරු කළ සේක.

ඉක්බිත්තෙන් සමනොළ සමන් දෙවි රජ්ජුරුවන් ආදි වූ ලක්දිව ඒ ඒ පර්‍වතවල, වෘක්‍ෂවල අරක් ගෙන වසන දිව්‍යසේනාව අවුත් බුදුන් පිරිවරා වැඳ නො එක් පූජා භාණ්ඩ ගෙන සිටියහ. එ කෙණෙහි බුදුහු බණ වදාරා ශතසහස්‍ර දෙවියන් සසරින් මුදා වදාළ සේක. එ වේලෙහි සෝවාන් වූ සමන් දෙවි රජ්ජුරුවෝ බුදුන් වැඳ සිට “ස්වාමීනි! නුඹවහන්සේගේ බුද්ධෝත්පාදය මුළුල්ලෙහි මේ ලක්දිව යක්‍ෂවාස නො වන පරිද්දෙනුත්, අප වැඳ පුදා ගන්නා පරිද්දෙනුත්, පාරිභෝගික ධාතුවක් දෙවා වදාළ මැනවැ”යි ආරාධනා කළහ. එවේලෙහි ස්වාමිදරුවෝ සුරක්ත වූ ශ්‍රීහස්තයෙන් ශිරොධාතුව පිරිමැද කේශධාතු මිටක් දී වදාළසේක. සමන්දෙවි රජ්ජුරුවෝ රුවන්කරඬුයෙකින් කේශධාතු පිළිගෙන බුදුන් වැඩහුන්නාවූ ස්ථානයෙහි රුවන් රැසක් පිටට වඩා සත් රියන් උස ඉඳුනිල්මිණි කරඬුවෙකින් වසා, අප්‍රමාණවූ දිව්‍යගන්‍ධ කුසුමාදියෙන් පූජා කළහ. මෙසේ බුදුහු පළමුවන ධාතු ප්‍රතිෂ්ඨාව කොට ලක්දිව සිසාරා තුන්යලක් ප්‍රදක්‍ෂිණා කිරීමෙන් අරක් දී වේළුවනාරාමයට වැඩි සේක. පසු ව සරභූ නම් මහතෙර කෙනකුන් වහන්සේ බුදුන්ගේ ශ්‍රීවාධාතුව වඩා මෙඝවර්ණ වූ පාෂාණයෙන් දොළොස් රියන් උස ඒ වසා සල දාගබක් මවා මහත් වූ පූජා කළසේක. පසුව චූළාභය නම් රජෙක් ඒ මතුයෙහි තිස්රියන් මහසෑයක් බඳවා භෝග පමණින් පූජා කෙළේය. පසු ව දුටුගැමුණු රජ ඒ වසා අසූරියන් උස මහසෑයක් බඳවා ඝනරන් පතින් වසා ධන පමණින් පූජා කෙළේය. එසේ හෙයින් කීයේ මැනෝ; මහාවංශයෙහි:

නෙකෙසං පාණිකොටීනං ධම්මාභිසමයො අහූ,

සරණෙසු ච සීලෙසු - ඨිතා ආසුං අසංඛියා.

.

සොතාපත්තිඵලං පත්‍වා - සෙලෙ සුමනකූටකෙ,

මහාසුමන දෙවින්‍දො - පූජාය යාචි පූජියං.

.

සිරං පරාමසිත්‍වාන - නීලාමලසිරොරුහෙ,

පාණිමත්තෙ අදා කෙසෙ - තස්ස පාණහිතො ජිනො.

.

සො තං සුවණ්ණවඞ්ගොට - වරනොදාය සත්‍ථුනො,

නිසින්නට්ඨාන රචිතෙ - නානාරතන සඤ්චයෙ.

.

උච්චතො සත්තරතනෙ - ඨපෙත්‍වාන සිරොරුහෙ,

තං ඉන්‍දනීල ථූපෙන - පිදහෙසි නමස්සි ච.

.

එවමච්චායිකං කම්මං - කාරොන්තා ච ගුණාකරා,

කරොන්ති පුඤ්ඤං සප්පඤ්ඤා - සංසාර භය භීරුකා-යි.

මෙසේ බුදුහු තමන් වහන්සේගේ ඉසින් හළ කෙස් පමණකට පවා මේ සා මහත් පූජා ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

ප්‍රථමාගමන කථා යි.

ගෞතම බුදුන්ගේ ද්විතීය ලඞ්කාගමන

තව ද: අප බුදුහු බුදු වූ පස් වන හවුරුදු බග අව පසළොස්වක් දිනෙහි එදා උදය මුළු ලෝ බලා වදාරන සේක් චූලෝදර මහොදර නම් දෙමයිල් නාරජුන්ගේ සීමාන්තරයෙහි පැනනැඟි මිණිපලඟක් නිසා කරන යුද්ධයෙහි නස්නා බොහෝ නයින් දැක, ඔවුන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් පූර්‍වභක්තයෙහි දෙවුරම් වෙහෙරින් නික්ම, දෙවුරම් දොරටුව සමීපයෙහි පිහිටි කිරිපලු රුක අරක් ගත් සමිද්ධි සුමන නම් දිව්‍යරාජයා විසින් උදුරා සිරසට කරන ලද එම කිරිපලු රුක් නමැති ඉඳුමිණි නිල් සේසත් ධරා නිල් මේ කුළක් යට ගමන් ගත් පූර්ණ චන්‍ද්‍රයාගේ ලීලා පරදවමින්, ආකාශයෙන් ම මණිනාග දිවයිනට වැඩ ඝොර වූ යුද්ධයට පටන් ගත් නාගසේනාවට පෙනී අහස පලග් බැඳ වැඩහිඳ, නො එක් පෙළහර දක්වා සාමග්‍රිතාවට නිසි වූ බණ වදාරා, දේශනා නමැති අමෘත වර්ෂායෙන්, නයින්ගේ කෝපාග්නි සන්හිඳුවා සමඟි වූ දෙමයිල් නාරජුන් විසින් පිළිගන්වනලද මිණිපලඟ මතුයෙහි වැඩහිඳ, ඔවුන් විසින් ම දෙන ලද දිව්‍යභොජනය වළඳා අනුමෝදනා බණ වදාරා, අසූ කෙළක් නයින් ශරණශීලයෙහි පිහිටුවා “මතු මා දුටුවා සේ වඳුව – පුදව”යි කිරිපලු රුක හා සමඟම මිණිපලඟ නයින්ට ම පාවාදී ධාතු ප්‍රතිෂ්ඨාවෙන් ලක්දිවට අරක් දී දෙවුරම් වෙහෙරට ම වැඩි සේක.

මෙසේ තමන් වහන්සේ මොහොතක් කල් වැඩහුන් ආසනයට පවා ශාසනාන්තය දක්වා දිව්‍යනාගරාජයන් විසින් අද දක්වා කරන ලද පූජා මහිම ඇති හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

ද්විතීයා’ගමන කථා යි.

ගෞතම බුදුන්ගේ තෘතීය ලඞ්කාගමන

තව ද: අප බුදුහු බුදු වූ අට වන හවුරුද්දෙහි සුනාපරන්ත නම් මහ තෙරුන්ගේ ආරාධනාවෙන් පන්සියක් රහතන් හා සමඟ සක්දෙවු රජහු මවා දුන් පන්සියක් රුවන් මඬු නැඟී සුනාපරන්ත දනවුවෙහි මුහුළු නම් අරම චන්‍දන ශාලාව පිළිගෙන කීප දවසක් එහි දවස් යවා, දේශනාරශ්මින් බොහෝ වූ විනෙය ජන පද්මයන් ප්‍රබෝධ කරවා, එයින් නර්‍මදා නම් ගඟට වැඩ එහි, වසන නර්‍මදා නම් දිව්‍ය නාගරාජයා විසින් දෙන ලද දිව්‍යාහාරය සහපිරිවරින් වළඳා, ඕහට බණ වදාරා, සරණසීලයෙහි පිහිටුවා, අමාමහ නිවන් දක්වා, එම නාරජහුගේ ආරාධනාවෙන් ඒ ගංතෙර රළින් මුවා වන තැන ඕහට ශ්‍රීපාදයක් ඔබා එයින් සච්චබද්ධක නම් පර්‍වතයට වැඩ, එහි පෙර බොහෝ කලක් මිථ්‍යා දෘෂ්ටි ගෙන විසූ සච්චබද්ධක නම් ජටිලයන්ට බණ වදාරා, ඔහු සරණ සීලයෙහි පිහිටුවා ඒහිභික්‍ෂු භාවයෙන් පැවිදි දී, එම සච්චබද්ධක නම් මහ තෙරුන්ගේම ආරාධනාවෙන් ඒ ගල් මුදුනේ හිඳ, ඉටියෙහි එබූ හසක් සේ පාදලක්‍ෂණ හා සමඟ ශ්‍රීපාදයක් ඔබා, එයින් මහෝදර නාරජහු මයිල් මිණි ඇසී නම් නාගරාජයාගේ ආරාධනාවෙන් වෙසඟ මැදි පොහෝ දිනයෙහි ලක්දිව් වැඩ, කැළණි මහසෑය පිහිටි තැන වැඩහිඳ, ඔහු විසින් මවන ලද දිව්‍යමණ්ඩපයෙහි අනර්ඝ වූ දිව්‍යාසන නැඟී වැඩහිඳ, ඔහු විසින් ම දෙනලද දිව්‍යභොජන සහපිරිවරින් වළඳා, බණ වදාරා, එම නාරජහුගේ ආරාධනාවෙන් කැළණි ගඟ යට ද ඕහට පාද ලාංඡනයක් දී නේ සුවහස් නයින් තිසරණ ගන්වා ඔවුන් විසින් කරන ලද අප්‍රමාණ වූ දිව්‍යපූජා ලත් සේක.

එ කෙණෙහි දිව්‍යනාගරාජයන් බුදුන්ට කරන පූජා කෝලාහලයෙන් පැළදිග් බැලූ සමනො කුළළ වසන සමන් දෙවි රජ්ජුරුවෝ “අප බුදුහු අද ලක්දිව් වැඩි වන්හ. අද මාගේ මනදොළ සිද්ධ වන වැන”යි සන්තුෂ්ට වූවාහු එ කෙණෙහි දෙවිපිරිස් පිරිවරා පර්‍වත මුදුනෙන් බුද්ධ පූජාවට අතුට තුබූ පියවිළි පටක් බඳුවූ කැළණි ගඟ අනුසාරයෙන් ආකාශයෙන් දිව, බුදුන් සහපිරිවරින් වැඳ, දොහොත් මුදුන් දී සිට “කරුණා නිධාන වූ තිලෝගුරු බුදුරජාණෙනි! මේ නැගෙනහිරි දිශාභාගයෙහි පස් ගවුවක් උසින් ඉඳු මිණිගල් පර්‍වතයක් සේ ආකාශයෙහි ගැහැටි ගැහැටි සිටිනා සේ පෙනෙන්නාවූ සමන්තකූට පර්වතය නම් එසේ මෙසේ වූ පර්වතයෙක් නො වෙයි, අනන්තපරියන්ත වූ බුදුන්ගේ පාද ශ්‍රී ලබන්නා වූ පර්‍වතයෙක. දැනුදු නුඹවහන්සේ ද, මාගේ කුළු නමැති ඔටුන්නෙහි තෙල ශ්‍රී පාද නමැති අගමිණිරුවන පලඳවා ලෝවැඩ කළ මැනැවැ”යි ආරාධනා කළහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ පූර්වදිග් බලා ලංකා නමැති අඞ්ගනාව තමන් වහන්සේට පෙරමඟ බලා, කර නඟා සිටියාක් වැනි වූ, මුදුන් කුළු නමැති කේශ කලාපයකින් හා පෙර මීට දෙවාරයක් වැඩ මට පාද ස්පර්ශය නුදුන් සේකැ යි ශෝකයෙන් හඬන කඳුළු ධාරා දෙකක් වැනි මහවැලි ගඟ හා කැළණි ගඟ වැනි ගංගා යුග්මයකින් හා තව ද: පාදවියෝගයෙන් ඛෙද ව ඇය විසින් කඩා ඉස්නා ලද රත්නාභරණ සමූහයක් සේ වනය සිසාරා පිහිටි සියදහස් රත්නාකර සමූහයෙන් හා ශ්‍රීමත්ව දිලියෙන සමනොලකුළ දැක “අද මම ද පෙර බුදුන්ගේ සිරිත් කොට ලඞ්කාඞ්ගනාව සතුටු කරවමි” යි සිතා වදාරා දිව්‍යනාග-ගන්‍ධර්වාදී පූජා විඳ විඳ පන්සියයක් මහ රහතන් හා සමඟ ආකාශයෙන් වැඩ පර්වත මුදුනෙහි ඝනරන් කඳක් සේ දිලිහි දිලිහී වැඩසිටි සේක. එකෙණෙහි පර්‍වතය වෙවුලා මුදුන් කුළ ආකාශයට නැඟී බුදුන්ගේ ශ්‍රීපාදය පිළිගෙන අහසින් බැස පෙර සේම පිහිටා ගිය. ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ මුරු බඹ කැලන් කරන මහ පූජා විඳ විඳ පැළදිග බලා වැඩසිට මේ ශ්‍රී ලඞ්කාද්වීප නමැති තුණුරුවන් භාණ්ඩාගාරය තමන් වහන්සේට හිමිනියාවටම හසක් එබුවා සේ, අටතුරා සියක් මඟුල් ලකුණෙන් ශ්‍රීමත් වූ දෙවි බඹුන්ට මුදුන් මල්කඩ වූ, එක්රියන් නව අඟුලක් පමණ අයම් විතර ඇති වාම ශ්‍රීපාද සලක්‍ෂණ කොට ඔබා වදාළ සේක.

එ කෙණෙහි බුද්ධාන්තරයක් මුළුල්ලෙහි ශ්‍රීපාද වියෝගයෙන් ශෝකී වූ ලඞ්කාඞ්ගනාව එකෙණෙහි නිශ්ශොකී ව, එම විට ම පහළ වූ අකාල මෙඝජල නමැති අමාදියෙන් ස්නානය කොට, මුළු දිව ව්‍යාප්ත වූ ෂට්වර්ණ බුද්ධරශ්මි නමැති අනෙකවර්ණ වූ පූජා වස්ත්‍රයන් ධරා, දිවමල් වර්ෂා නමැති අංගරාගයන් තවරා, රුවන් වර්ෂා නමැති ආභරණ පැලඳ, සමුද්‍රඝෝෂා නමැති තූර්‍ය්‍යනාද පතුරුවා, භෘඞ්ගනාද නමැති ගායනා කොට, අකාල කුසුම් නමැති මල්දම් පැළඳ, මහීනාද නමැති සාධුකාරයෙන් ස්තුති ගීතිකා කිය කියා, මෙඝනාද නමැති අත්පොළසන් දිදී නටා, සන්තෝෂයෙන් පූජා කළා ය.

මෙසේ ස්වාමිදරුවෝ ලඞ්කාඞ්ගනාව සතුටු කරවා සමනොළ ශ්‍රීපාදය ඔබා එ ගල් පාවිට වූ භගවත් නම් ලෙන වැඩහිඳ සමවත් සුවෙන් දිවා විහාර කොට එයින් සිරිලක ඇතුළත් කොට, අනුරාධපුරයට වැඩ, දකුණු මහසෑය පිහිටිතැන, මහමෙවුනා උයන් මැද ශ්‍රී මහා බෝධිය පිහිටි තැන ය, ලෝවාමහාපාය පිහිටි තැන, පිරිත්ලාගෙය පිහිටි තැන ය. දන්තාදර නම් පොකුණ පිහිටි තැන, ථූපාරාමය පිහිටි තැන, පතස්භූමියෙහි රුවන්මැලි මහ සෑය පිහිටි තැන ය. මිහින්තලයෙහි මහසල සෑ පිහිටි තැන ය යි යන මේ අටමස්ථානය පූර්වබුද්ධවරයනුදු වැඩහුන්බිම් හෙයින් තමන්වහන්සේ ද ධ්‍යානසුවයෙන් වැඩහිඳ, එ තෙනට රැස් වූ දෙවියනට බණවදාරා, නො එක් දෙවියන් සසරින් මුදා, එයින් වැඩ රුහුණු දිගානක පිහිටි තැන ය යි මෙසේ මේ ලක්දිව තුන්වාරයෙන් කැටිව තුදුස් තැනෙක තුදුස් මොහොතක් කල් තුදුස් සමවතෙකින් තුදුස් බුද්ධකාරක ධර්‍මයකින් යෙදුණා වූ අප බුදුහු මෙසේ පාරිභොගික ධාතූ ප්‍රතිෂ්ඨාවෙන් ලක්දිවට අරක් දී දෙවුරම් වෙහෙර ම වැඩි සේක.

මෙසේ තමන් වහන්සේ මොහොතක් කල් වැඩහුන්නා වූ තුදුස් තැනට දෙවිමිනිසුන් දැන් දක්වා කරනලද මහත් වූ උද්දෙසික පූජා ඇති හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

තෘතියා ගමන කථා යි.

අනුරාධපුර උත්පත්තිය

තව ද: ලක්දිව රජුන් ඇති ව මනුෂ්‍යවාස වූ පරිදි කෙසේ ද යත්? එහි විස්තර කථාව මහාවංශයෙහි එන බැවින් මෙතෙන වනාහි රාජවංශ සංක්‍ෂේපයෙන් දක්වා ශාසන කථා සංක්‍ෂේපයෙන් දක්වම්හ:

පෙර කලිඟු රජහු දු වඟුරට වඟු රජහු කෙරේ වැස දුවක ලද. ඕ වැඩී කිසියම් අකුශලයෙකින් එකලා මල් ගොස් අතර මඟ සිංහයක්හට හසු ව ඔහු කෙරේ වැස සිංහබාහු ය සිංහවල්ලි ය යි පුතකු හා දුවක ලදහ. පසු ව සිංහබාහු රජ සිංහවල්ලී නම්

තමාගේ නඟ ම බිසෝ කොට ලාට රට රජ කොට විසී ය. මොවුන් දෙදෙනා දරු විජය කුමර අප බුදුන් පිරිනිවි වේලෙහි සක්දෙවු රජහුගෙන් අරක් ලදින් සත්සියයක් යෝධයන් ගෙන තම්මැන්නා දිවයින් බැස කුවේණි නම් යකින්නගේ සහායයෙන් අතරතුරෙහි නො ගොසින් හුන් යක්‍ෂයන් මරා ලුහුබැඳ එම තම්මැන්නායෙහි නුවරක් කරවා එහි අටතිස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. පසු ව ඔහුගේ උපතිස්ස නම් අමාත්‍යයෙක් තෙමේ හවුරුද්දක් රාජ්‍යය කොට දඹදිව් යවා විජය රාජයන්ගේ බැහැනන් පඬුවස්දෙව් රජහු ගෙන්වා ඇලසර තමා කැරවූ උපතිස්ස නම් නුවර ලා තිස්හවුරුද්දක් රාජ්‍යය කැරවී ය.

බුදුන් සුළුපිය අමිතෝදන නම් ශාක්‍ය රජ්ජුරුවන් දරු වූ පාණ්ඩුශාක්‍යයන් දූ කසයින් දේවී තමන් හා කුසහොත් දසබෑ කෙනෙකුන් සමඟ ලක්දිව් බැස ඒ පඬුවස්දෙව් රජහු කෙරේ වැස පුතුන් දසදෙනකු හා දුවක ලද. මහලු පිත් අබා නම. බාල නං උන්මත්සිත් නම, ඔවුන්ගේ යටකී මයිලන් දසදෙනා අතුරෙන් රාම නම් ශාක්‍යයන් විසූ තැන් රාමගෝන නම් විය. රෝහණ නම් ශාක්‍යයන් විසූ තැන් රෝහණ නම් විය. දිශා නම් ශාක්‍යයන් විසු තැන් දිගාමඬුළු නම් විය. උරුවෙල නම් ශාක්‍යයන් විසු තැන් මහවැලිගම නම් විය. අනුරාධ නම් ශාක්‍යයන් විසු තැන් අනුරාධ පුර නම් විය. විජිත නම් ශාක්‍යයන් විසු තැන් විජිතපුර නම් විය. ඒ පඬුවස්දෙව් රජ්ජුරුවන් මාලු පිත් අභය නම් රජ විසි හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය.

ඔවුන් නං උන්මත්සිත් නම් බිසොවුන් තමන් මයිල් දිය නම් ශාක්‍යයන් දරුවූ දීඝගාමණී නම් කුමරුවා කෙරේ වැස දෙවන පණ්ඩුකාභය නම් කුමරහු වැදුව. එ කුමර වැඩි තමාගේ මයිලන් නව දෙනෙකු මරා තමා මයිල් [95]ගිරිකණ්ඩ නම් රජහු දු රන්පෙලි නම් බිසොව රක්‍ෂා කොට අනන්තාපර්‍ය්‍යන්ත වූ සර්‍වඥ නමැති රාජහංස ශ්‍රී ලබන සරසියක් වැනි වූ ලංකා නමැති අංගනාවට සිරිකතක් වැනි වූ අනුරාධපුර නුවර ශ්‍රී මහා බොධිස්ථානයට උත්තර දිශා භාගයෙහි සතර ගව්වෙක් පමණ අයම් විතරින් හා සොළොස් ගව්වක් තැන් වටින් ගෙන දිව්‍ය පුරයක් සේ නුවරක් මුල්පිස කරවා භයා වැව බඳවා බඳවා සැත්තෑ හවුරුද්දක් රාජ්‍යය කෙළේය. මුටසිව නම් රජ මහමෙවුනා උයන කරවා සැට හවුරුද්දක් රාජ්‍යය කෙළේය. එකලට අප බුදුන් පිරිනිවී දෙසිය සතිස් හවුරුද්දක් ගිය කල්හි මුටසීව නම් රජහු පිත් දෙවනපෑතිස් නම් රජෙක් විය. එ රජ සැළයට නැඟු පහනක් සේ අන්තොගත ශ්‍රොතාපත්ති, මාර්‍ග නමැති ප්‍රදීපාලොකයෙන් දිලියෙන මහ පින් බල ඇත්තේ ය, දඹදිව අග රජ කරන පින් ඇතිව ද කිසියම් අකුශලයෙකින් හෙළදිව උපන. හේ කෙසේ ද යත්?

පෙර තුන්දෑ කෙනෙක් වල් ගොස් මී සලා මී වෙළඳාම් කොට ජීවත්වෙති. දවසෙක මහලු දෙබෑයන් මී සලා වලට යාදී ගමහුන් මල්, පිල හිඳ මී විකුණනුයේ, ගිලන් භික්‍ෂු කෙනකුන් දැක මී පාත්‍රයක් පුරා දන් දී සවස මහලු දෙබෑයන් ගෙට ආ කල “සන්හුන් ගුණෙන් යුත් ගිලන් මහණ කෙනෙකුන් දැක මී පාත්‍රයක් දන්දින්මි, පින අනුමෝ ව”යි කී ය. එ බස් අසා මහලු දෙබෑයෝ “ අපි වල ඇවිද මී සොයා දුක් ගනුමෝ ද, තෝ ගම හිඳ වියදම් කෙරේ දැ”යි කිපී එකෙක් “තාගේ මහණ ගෙන සැඩොල්ගම ලා පියව”යි කී ය. එකෙක් කියනුයේ “තාගේ මහණ ගෙන මුහුදින් එතෙර ලා පියව”යි කී ය. එබසට මල්, මුයෙන් නො බැන ඉවසා පසුව දෙදෙනා සන්හුන් කල අවවාද කියා කළ පින් දෙදෙනා ම සමාදන් කැරවීය. ඒ පිනින් පසු ජාතියෙහි මල්, මුළු දඹදිවට අග රජ ව ධර්මාශෝක නම් රජ විය. සැඩොල්ගම ලා පියව යි කී බෑයෝ ඒ ජාතියෙන් මිය රජක් හට දාව, බිසොවක බඩ හෙව, සැඩොල්ගම මැදෙක නුග ගසක් මුල අනාථ ව ඉපැද වැඩ පසුව සමාදන් වූ පිනින් බුදුසසුන් වැද මහණව අමාමහ නිවන් දැක නිග්‍රොධ නම් මහතෙර විය. අනික් බැහැ මුහුදින් එ තෙර ලා පියව යි කී පවින් දඹදිව නො ඉපැද ලක්දිව මුටසීව රජහට පුත් ව දෙවන පෑතිස් රජ ව, සිරිලක ඔටුන් පැළඳ අභිෂේක විය. දාන සමාදාන පින්බල ඉතා මහතැ යි දතයුතු. එසේ හෙයින් කියන ලදී−

නත්‍ථි චිත්තෙ පසන්නම්හි - අප්පිකා නාම දක්ඛිණා,

තථාගතෙ වා සම්බුද්ධෙ අථවා තස්ස සාවකෙ−යි.

මෙසේ දෙවනපෑතිස් රජහු සිරිලක ඔටුනු පැලඳ අභිෂේක මඟුල් කළදවස් සිරිලකට අද්භූතවූ නො එක් රුවනු දු පහළවිය. මුහුදින් ශ්වෙත අශ්ව ආකෘති ඇති හය නම් මුතු ය, ශ්වේත හස්ති ආකෘති ඇති ගජ නම් මුතු ය, මහ ඇඹුල පක් සා ආමලක නම් මුතු ය, සක්වළලු බඳුවූ සටහන් ඇති වළය නම් මුතු ය, සක් මුදු බඳු වූ සටහන් ඇති අංගුලි මුද්‍රිකා නම් මුතු ය, කුඹුක් පක් බඳු වූ සටහන් ඇති කකුධ ඵලක නම් මුතු ය, හුණපුරුකේ සටහන් ඇති වෙණුක නම් මුතු ය, ස්වභාව මුතු ය යි මෙසේ උතුම් උතුම් වූ මුතු අට ජාතියෙක් උපන.

තව ද: එක් හුණ පඳුරෙක ලතායෂ්ටි ය, කුසුමයෂ්ටි ය, ශකුණ යෂ්ටි යයි රථ කැවිටි සා හුණලී තුනෙකුදු දිව්‍ය නිර්මිතයක් සේ උපණ. එයින් ලතා යෂ්ටිය තෙමේ රිදී කඳක් සේ අති ධවල ය, මුල පටන් අග දක්වා විසිතුරු කොට සිතියම් කළා සේ රන්වන්වූ ලියසමූහයෙන් දිලියෙන්නේය. කුසුම් යෂ්ටිය ඉන්‍ද්‍ර නීලයක් සේ නිල්ව පස්වන පැහැ ඇති නන්විසිතුරු මල්ජාතීන් අතුරු නැති ව විසිතුරු විය. ශකුණ යෂ්ටිය ප්‍රවාල වර්ණය. නො එක් ජාතියෙහි නන් පැහැ ඇති පක්‍ෂි සමූහයා විසින් විසිතුරු ව බලා ඇස් හයාගත නො හැකියේ ය. මේ ආදී වූ උතුම් උතුම් රුවන් හා පඤ්ච රාජ කකුධ භාණ්ඩයන් හා ධර්මාශෝක රජ්ජුරුවන්ට යවා උන්හා යහළු ව පූර්‍වසන්නිවාස හෙතුයෙන් ඔවුනොවුන් කෙරෙහි ප්‍රේම ඇතිව වෙසෙති. ධර්මාශෝක රජ්ජුරුවෝ ද දඹදිවින් නො එක් පඬුරු හා:-

අහං බුද්ධ ච ධම්මං ච - සංඝං ච සරණං ගතො,

උපාසකත්තං වෙදෙසිං - සක්‍යපුත්තස්ස සාසනෙ–යි.

යනාදීන් තුනුරුවන් පඬුරු හා ගඳකලල්–පිරිත් පැන් ආදි වූ නො එක් පඬුරු එවා යහළුව හිඳිති. දෙවනපෑතිස් රජ්ජුරුවෝ ද තුණුරුවන් පඬුරෙහි අසුන් අසා “මෙහි කවර දවසෙක සසුන් පිහිටුවා ගනිම් දෝ හෝ”යි සිතසිතා සක්රුවනක් පතන සක්විති රජකු සේ තුණුරුවන් පත පතා හිඳිතී. එකලට අනුරාධපුර නුවර උඩුමහල් නව ලක්‍ෂයකින් හා බිම්මහල් අනූලක්‍ෂයකින් හා ශ්‍රීවන්ත වූ චාතුර්වර්ණයන් විසින් හා හස්ති අශ්ව රථ වීණා මෘදඞ්ග ශඞ්ඛ සම්ම තාල බාද්‍ය භොජ්‍ය යන දශවිධ නාදයෙනුත් සම්පූර්ණව, සම්පත්ති භාරයෙන් දෙවුලොවින් බැස මිහිමඬලෙහි රඳාගිය දිව්‍ය පුරයක් සේ ශ්‍රීවන්ත විය.

අනුරාධපුර උත්පත්ති කථා යි.

ප්‍රත්‍යන්ත දේශයන්හි බුදු සසුන් පිහිටුවීම

එ කල පෙර කී මොග්ගලිපුත්ත තිස්ස මහ තෙරුන් වහන්සේ ධර්මාශෝක රජහුගේ සහායයෙන් ඔහුගේම අශෝකාරාමයෙහිදී, යට කී සේ තුන්වන ධර්‍මසංගායනාවසානයෙහි දසදහසක් රහතන් අතුරෙන් මජ්ඣන්තික මහ තෙරුන් වහන්සේ ය, මහාදෙව නම් මහ තෙරුන් වහන්සේ ය, රක්‍ෂිත නම් මහ තෙරුන් වහන්සේ ය, යොනක ධර්‍මරක්ෂිත නම් මහ තෙරුන් වහන්සේ ය, මහා ධර්‍ම රක්ෂිත නම් මහ තෙරුන් වහන්සේ ය, මහාරක්ෂිත නම් මහ තෙරුන් වහන්සේ ය, මධ්‍යම නම් මහ තෙරුන් වහන්සේ ය, සොණ නම් මහ තෙරුන් වහන්සේ ය, ධර්මාශෝක රජ්ජුරුවන් දරු මිහිඳු මා හිමියන් වහන්සේ යයි ගිය ගිය තන්හි අනුබුද්ධව බණ වදාරන්ට සමර්ථ වූ මහත් ඍද්ධි ප්‍රතිහාර්‍ය්‍ය ඇතිව මහා ස්ථවිරයන් කැඳවා “ආයුෂ්මත්නි! මතු හීන කාලයෙහි මධ්‍යමණ්ඩලයෙහි ජනශූන්‍ය වෙයි, ප්‍රත්‍යන්තයෙහි දේශවල් සමෘද්ධ වෙයි, එසේ හෙයින් තෙපි තෙපි ද අපි සසරින් ගැළවුණුමෝ වේ දැ යි උපේක්ෂා නොව ඒ ඒ දේශවලට ගොස් ශාසන පිහිටුවා තොපට මෙ බඳු වූ අමා මහ නිවන් සුවයක් දීලූ බුදුරජාණන්ට කෘතොපකාරයෙන් යෙදී උතුම් වූ ප්‍රතිපත්ති පූජා කරව”යි නියෝග කොට වදාළසේක.

එකල එයින් මජ්ඣන්තික නම් මහතෙරුන් වහන්සේ හිමාලය වන ප්‍රාන්තයෙහි කාශ්මීර–ගන්‍ධාර දේශයට මැද වූ අරාවාල නම් නාගරාජයාගේ ආරවාල නම් විලට වැඩ විලපිට සක්මන් කරන සේක. එ වේලෙහි නාගරාජයා “මාගේ පවිත්‍ර වූ විල පැන් තමාගේ පාද රජසින් අපවිත්‍ර කරනුයේ ඡන්න-භින්න. පට ධාරී වූ මේ කොයි මුඩු මහණෙක් දැ”යි කිපී විසඳුම් හැර, විසගිනි හැර නොඑක් අව්වැසි වස්වා, කර්කශ වූ වාක්පරුෂයෙන් ආක්‍රොශ කොට, තෙරුන් වහන්සේට කිසි පීඩාවක් කොටගත නොහී, තෙරුන් වහන්සේගේ ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය දැක “මොහු මහ තෙද ඇති රහත්කෙනෙක, නන්‍දෝපනන්ද නම් නාරජහු වැනි, අභිච්ඡත්ත නම් නාරජහු වැනි, පන්නක නම් නාරජහු වැනි, මට ශතසහස්‍ර ගුණයෙන් වඩනා නාගරාජයෝ පවා රහතනන්ට මන් කොට පස්වා දහස් මුළුල්ලෙහි ලෝකවාසීන් අතින් නින්‍දා අසමින් සිටියහ, දැන්දක් මොහු බඹවෙසක්-ගුරුළු වෙසක් මැවු නම් මා ගිරිගැඩවුලකු නො වටනා වන් කරවා පියති, මම් ම පළමුකොට ඔවුන් පා වැඳකළ වරද ක්‍ෂමා කරවමි”යි සිතා මහ තෙරුන් වැඳ ක්‍ෂමා කරවා අනර්ඝ වූ මිණිපලඟක් මවා එහි මහ තෙරුන් වඩා හිඳුවා තෙමේ එකත්පස්ව නා නළුවන් පිරිවරා හුන්නේ ය.

එ වේලෙහි මහ තෙරුන් වහන්සේ බුදුකෙනකුන් සේ වැඩහිඳ බණ වදාරා සුවාසූදහසක් නයින් හා ලක්‍ෂගණන් යක්‍ෂ–ගරුඩ ගන්‍ධර්වාදීන් ද සරණ සිල් ගන්වා, පඤ්චක නම් යක්‍ෂ සේනාධිපතිහු හා භාරිති නම් යක්‍ෂණිය හා පන්සියයක් දරුවන් සෝවාන් කොට, ඉක්බිත්තෙන් කාශ්මීර–ගන්‍ධාර දේශවාසීන් හවුරුදු පතා එම නාගරාජයාට දෙන නාග බලි පූජාව ගෙන, රැස්වූ මහපිරිසට එම අස්නේ වැඩහිඳ සංයුත්සඟියැ සළයින් වග බුදුන් වදාළ ආසීවිසෝපම සූත්‍රය බණ වදාරා, සුවාසූ දහසක් දෙනාට මාර්‍ගඵල දී, ලක්‍ෂයක් පුරුෂයන් මහණකොට, එ තැන් පටන් ඒ කාශ්මීර ගන්‍ධාර දෙ දේශයෙහි ධර්‍ම ශාසනය පිහිටුවා ලෝවැඩ කොට බුදුන්ට උත්තම ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

තව ද: දෙවන මහාදෙව නම් මහතෙරුන් වහන්සේ මහිස මණ්ඩලයට වැඩ මැදුම්සඟියෙහි උපරි පණස වදාළ දේවදූත සූත්‍රයෙන් බණ වදාරා, සතලිස් ලක්‍ෂයක් ප්‍රාණීන් නිවන් දක්වා සතලිස් දහසක් පුරුෂයන් මහණ කොට එහි සසුන් පිහිටුවා ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

තව ද: තුන්වන රක්ෂිත නම් මහතෙරුන් වහන්සේ ද දහම් අනාවාස ව තුබූ වනවාස නම් දනව්වට වැඩ, අහස්කුස පුන් සඳක් සේ දිලිහි දිලිහී වැඩහිඳ, සියලු සතුන්ට ම පෙනි පෙනී සංයුත් සඟියෙහි වදාළ අනමතග්ග සූත්‍රය දෙශනා කොට, සැට දහසක් ප්‍රාණීන් නිවන්දක්වා, සැත්තෑදහසක් මනුෂ්‍යයන් මහණ කොට, පන්සියයක් මහා විහාර ඇති කරවා ලෝවැඩ කොට අප්‍රමාණ වූ ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

තව ද: සතර වන යෝනක ධර්‍මරක්ෂිත නම් මහතෙරුන් වහන්සේ ද අපරන්ත නම් ජනපදයට වැඩ අංගොත්තර සඟියෙහි වදාළ අග්ගික්ඛන්‍ධෝපම සූත්‍රයෙන් බණ වදාරා, සත් තිස් දහසක් ප්‍රාණීන් එක දා නිවන් දක්වා, රජකුලයෙන් ම දහසක් පුරුෂයන් හා දහසක් බිසෝවරුන් මහණ කරවා, එහි සද්ධර්‍ම ප්‍රදීපය බබුළුවා උත්තම ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

තව ද: පස්වන මහා ධර්‍මරක්ෂිත නම් මහතෙරුන් වහන්සේමහාරාෂ්ට්‍ර නම් ජනපදයට වැඩ කුදුගත් සඟියෙහි වදාළ මහා නාරද කාශ්‍යප ජාතකයෙන් බණ වදාරා එ ම දා ම සුවාසූදහසක් ප්‍රාණීන් නිවන් දක්වා, තෙළෙස් දහසක් මනුෂ්‍යයන් මහණ කොට එහි ධර්මාශාසනය පිහිටුවා සම්‍යක් ප්‍රතිපත්තීන් බුදුන්ට පූජා කළ සේක.

තව ද: සවන මහා රක්ෂිත නම් මහ තෙරුන් වහන්සේයෝනක දේශයට වැඩ දික් සඟියෙහි ශීලස්කන්‍ධ වර්‍ගයෙහි වදාළ කාළකාරාම සූත්‍ර දේශනාවෙන් බණ වදාරා, එක්ලක්‍ෂ සැත්තෑ දහසක් ප්‍රාණීන් එකදා ම නිවන් දක්වා, දස දහසක් යොනුන් මහණ කොට දහස් ගණන් විහාර ඇති කොට, මෙසේ යෝනක දේශයෙහි ධර්‍මශාසනය පිහිටුවා, බුදුන්ට උත්තම ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

තව ද: සත් වන මජ්ඣිම නම් මහතෙරුන් වහන්සේද පඤ්ච මහා ස්ථවිරයන් සමග හිමවන්ත නම් දනවුවට වැඩ, පළමු වන දම්සක් පැවතුම් සූත්‍රයෙන් බණ වදාරා, එක දා අසූකෙළක් ප්‍රාණීන් නිවන් දක්වා, පස් ලක්‍ෂයක් රහත් සඟුන් ඇති කොට, මෙසේ බුදුන්ට අප්‍රමාණ වූ ප්‍රතිපත්තීන් පුජා කළ සේක.

තව ද: අට වනු වූ සෝණ නම් මහතෙරුන් වහන්සේ ද ස්වර්‍ණභූමි නම්දනවුවට වැඩ, එරට රජකුලෙහි උපනුපන් දරුවන් කා පියා පලා යන කර්කශ වූ යකින්නක දැක, එ දවසු දු උපන් රජකුමරුවා බිලිගනිමි යි ආ වේලෙහි, නො එක් පෙළහරින් තමන් වහන්සේ ඒ කුමරුට අරක්ගෙන යකින්න භය ගන්වා, ඇය දුරලවා දිවයින සිසාරා යක්‍ෂයන් වැද්ද නො හැකි සේ සීමා බැඳ, ඒ පෙළහරෙහි විස්මය පත් ව රැස් වූ මනුෂ්‍යයන්ට බ්‍රහ්මපාල සූත්‍රයෙන් බණ වදාරා, සැටදහසක් ප්‍රාණීන් නිවන් දක්වා තුන්දහස් පන්සියයක් පුරුෂයන් හා එක්දහස් පන්සියයක් ස්ත්‍රීන් මහණ කරවා මෙසේ ධර්මාසනය පිහිටුවා, දිවි පමණින් බුදුන්ට අප්‍රමාණ වූ උතුම් වූ ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

මෙසේ ලොවුතුරා බුදුන් පවා ලෝභය කරවන නිවන් සුව ලදින්, ධ්‍යාන සුවයෙන් ඒ ඒ තැන්හි වැඩහිඳ සුව විඳ නො පියා මේ ස්ථවිරයන් පවා නිවන් සුව හැර, ඒ ඒ තැන්හි ඇවිද, ලෝ වැඩ කළ කල, මතු සංසාරයෙහි දවස් යවන්නට සිතන්නාවූ නුවණැති කවර පුද්ගල කෙනෙක් ලෝවැඩෙහි උපෙක්‍ෂාවෙද් ද? එසේ හෙයින් නුවණැත්තා වූ ශාසනගත භික්ෂූන් විසින් ලෝවැඩ සසුන් වැඩෙහි අප්‍රමාද ව දවස් යැවිය යුතු. එසේ හෙයින් ලදුයේ මැයි:

මහාදයස්සාපි ජිනස්ස කඩ්ඪනං

විහාය පත්තං අමතං සුඛම්පි තෙ

කරිංසු ලොකස්ස හිතං තහිං තහිං

භවෙය්‍ය කො ලොකහිතෙ පමාදවා-යි.

ලක්දිව බුදුසසුන පිහිටුවීම

ඉක්බිත්තෙන් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මොහාන්‍ධකාරයෙන් වැසී තුබූ ශ්‍රී ලංකාද්වීපයෙහි සද්ධර්ම සූර්‍ය්‍යයා නැඟී සද්ධර්‍ම රශ්මි පතුරුවා, උදා වුව මනා කල්හි, එදා නව වනු වූ මිහිඳු මාහිමියන් වහන්සේ ද ගුරුන් වදාළ තෙපුල් මුදුනෙන් පිළිගෙන, ඉට්ඨිය නම් මහ තෙරුන් වහන්සේය උත්තිය නම් මහ තෙරුන් වහන්සේ ය, සම්බල නම් මහතෙරුන් වහන්සේය, භද්‍රශාල නම් මහ තෙරුන් වහන්සේ ය යි තමන් වහන්සේ ඇතුළු වූ මහතෙර පස් නමක් හා නැඟණියන් සංඝමිත්‍රාවන් වැදූ සත්හැවිරිදි සුමණසාමණේර නම් බෑනණුවන් හා අනාගාමී ව, මහණ වනු කැමති ව, ආ දෙබි හින්නන් දරු භණ්ඩුක නම් බෑනණුවන් හා මෙසේ රහතන් සද්දෙනකු ගෙන පියරජ්ජුරුවන් විසින් දෙන ලද රජ පඬුරු හා දහම් පඬුරු ගෙන්වා ගෙන එයින් ආකාශයට පැනනැඟී ශ්‍රී ලංකාද්වීපයට වැඩ අප බුදුන් පිරි නිවි දෙසිය සතිස් වන හවුරුදු, ධර්මාශෝක රජ හට අටළොස් වන හවුරුදු, දෙවන පෑතිස් රජහට පළමු වන හවුරුදු, පොසොන් පුර පසළොස් වක මිහින්තලා බැස ඡායා සම්පන්න මී අඹගසක් මුල වූ අඹතලා නම් ගලතළ සද්දෙනා වහන්සේ පිළිවෙළින් වැඩහුන් සේක.

දෙවන පෑතිස් රජ්ජුරුවෝ පළමු සද්දවසෙක පටන් නුවර දෙවු පුරයක් සේ සරහා සැණකෙළි කෙළනාහු එ දවස් මහ තෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් “අද මුව දඩ යෙමි” යි සිතා සතළිස් දහසක් පමණ කැමැති කැමැති ඇමැති සෙනග පිරිවරා ඒ වනයට පැන නැංගහ. එ වේලෙහි ඒ පර්‍වතයෙහි අරක් ගත් දෙවියා මහ තෙරුන් වහන්සේ රජහට දක්වමි යි සිතා රෝහිත මුව වේසය මවා, තණ කන ආකාරයෙන් පිරිසට නො පෙනී රජහට ම පෙනී ගිය. රජ්ජුරුවෝ ඔහු දැක, “ගොදුරු කන මුවා සොරා සිට විදීම පුරුෂ බලයෙක් නොවෙයි, මෝහට පෙනී විදිමි”යි සිතා දුනුදිය අත් පොළා මුවා උගුලුවා සැරයක් අළහ. ඒ මුවදෙවියා සැරය පා හස්සෙන් යවා රජහු ලජ්ජා කරවා මහතෙරුන් වැඩහුන් ගල තළ කරා දිව අන්තර්ධාන විය. රජ්ජුරුවෝ ද යෝධයන් පසු කොට මුවා පසුපස්සෙහි හීසැරවේගයෙන් දිව එ තෙනට පත්ව මුවා ආ ගිය අත් නො දැක ඔබිනොබ බලති.

එ වේලෙහි මිහිඳු මාහිමියන් වහන්සේ රජ්ජුරුවන් දැක “මෙ රජ මහණ වෙස් නො හඳුනයි, හැමදෙනා හා සමග පෙනෙම් නම් රජ භය ගන්ති”යි සිතා සෙසු සදෙනා නො දකීවයි” අධිෂ්ඨාන කොටලා තමන් වහන්සේ ම රජහට පෙනී “තිස්සය මා කරා වරැ”යි වදාළ සේක. එ බසට රජ්ජුරුවෝ “මෙ ලක්දිව මුළුල්ලෙහි මට තිස්ස ය යි කිය හෙන සතෙක් නැත, කවරෙක් දෝ හෝ “බලා මහ තෙරුන් වහන්සේ දැක කිපී “ඉස මුඩු

වූ, දතහුදු වූ රත් පවුල් පෙරෙවි ජින්න-භින්න පටධාරිය! තෝ කවරෙක්හි දැ” යි කීහ. එ බසට මහ තෙරුන් වහන්සේ සුරතල් කියන පුතක්හු දුටු පියාණ කෙනකුන් සේ රජහු මහ කුළුණෙන් බලා:

සමණා මයං මහාරාජ!-ධම්මරාජස්ස සාවකා

තමෙව අනුකම්පාය–ජම්බුදීපා ඉධා”ගතා–යි.

යන මේ ගයින් බණ වදාරා, වන දෙවියන් ලවා සාධුකාර දෙවා “මහරජ! තොප කෙරෙහි කළ අනුකම්පාවෙන් දඹදිවින් ලක්දිවට ආමෝ බුදුන් දරු වම්හ, අප බුදුන්ගේ සසුන් වැඳ මහණ වූ බිළිඳි දරුවන් පවා එදා පිසපු බිස්ස මහබඹුට මුදුන් මල්කඩ වෙයි තුන් ලෝ වාසි සියලු සත්හු ම තුනුරුවන් දාසයහ, එසේ නො කියව”යි වදාළ සේක.

රජ්ජුරුවෝ ද පෙර ම තුනුරුවන් පවත් අසා, තමන් ද තුනුරුවන් පත පතාම වසන හෙයින්, “බුදුන් දරු වම්හ”යි කී බසට සියලඟ ලොමු දහ ගන්වමින් සන්තෝෂයෙන් මත් ව අත තුබූ ආයුධ බිම හෙළා, මහතෙරුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එ කෙණෙහි සතළිස් දහසක් යෝධයෝ ද ගොසින් රජහු පිරිවරා හුන්හ. එ කෙණෙහි අනිත් සදෙනා වහන්සේ ද දක්වා වදාළ සේක. එ කෙණෙහි රජ්ජුරුවෝ “මේ සදෙනා වහන්සේ කවර විට අවුදැ”යි විස්මය පත් ච විචාළහ. “මහරජ! මා හා කැටි ව ම අවු ය, තොප නුදුටු බව මුත් කැලත් මෙ තෙන ම උන්හ”යි වදාළසේක. රජ්ජුරුවෝ මේ පෙළහර දැක “ස්වාමිනි දඹදිව තවත් රහත්හු ඇද්දැ” යි විචාළහ. එ බසට ස්වාමිදරුවෝ,

තෙවිජ්ජා ඉද්ධිප්පත්තා ච–චෙතොපරියාය කොවිදා,

දිබ්බසොතා ච අරහන්තො-බහු බුද්ධස්ස සාවකා–යි.

යන මේ ගය කියා “මහරජ! දඹදිව සෘඬිවන්ත වූ රහත්හු පමණ නැතියහ”යි වදාළ සේක. රජ්ජුරුවෝ “නුඹ වහන්සේ මීට කෙසේ වැඩිසේක් දැ”යි විචාළහ. “මහරජ! දියෙනුත්, ගොඩිනුත් නො ආම්හ”යි වදාරා “ආකාශයෙන් වැඩිසේක්වනැ”යි රජ්ජුරුවන් සිතූ කල “රජහුගේ නුවණ ප්‍රශ්නයෙකින් පරීක්ෂා කෙරෙමි”සිතා එ තෙන සිටි මී අඹගස බලා “මහරජ! මේ කිනම් ගසෙක් දැ”යි වදාළ සේක. රජ්ජුරුවෝ අඹගස ය යි කී ය. මහ රජ! මේ හැර තවත් අඹගස් ඇද්දැයි වදාළ සේක. රජ්ජුරුවෝ බෙහෙව ස්වාමිනි යි කීහ. එයින් පිටත් ගස් ඇද්දැයි විචාළසේක. අඹයෙන් පිටත් සෙසු ගස් පමණ නැත ස්වාමිනි යි කීහ. සෙසු අඹගසුත් නො අඹගසුත් හැර පිටත්ගස් කවරේ දැ යි විචාළ සේක. මේ අඹගස එයින් පිටත් වේ ද ස්වාමිනි යි කීහ. මහරජ! මේ පැනය තොප කී සේ මැනවැ යි වදාරා තව පැනයක් විචාරනු කැමැති ව “මහරජ! තොපගේ නෑයෝ ඇද් ද, නැද් ද”යි විචාළ සේක. බෙහෙව, ස්වාමිනී යි කීහ. නො නෑයෝ ඇද් ද නැද් ද මහරජයි කී සේක. නෑයන්ට වඩා නො නෑයෝ බෙහෙව ස්වාමිනි යි කීහ. තොපගේ නෑයන් හා නො නෑයන් හැර අනික් කවුරු මෙහි ඇද්දැ යි විචාළ සේක. මම ඇත්තෙම් වෙම් ද ස්වාමීනි යි කීහ. එවේලෙහි මිහිඳු මාහිමියන් වහන්සේ “රජ්ජුරුවෝ ධර්‍මවිනය දැනගන්නා තරම් බුද්ධි ඇත්තාහු ය”යි දැන එවේලෙහි මැදුම් සඟියෙහි බුදුන් වදාළ චූළ හත්‍ථිපදෝපම සූත්‍රයෙන් බණ වදාළ සේක. එ කෙණෙහි රජ්ජුරුවෝ සෝවාන් වූහ. සතළිස්දහසක් ඇමැතියෝ කැමැති ව ම තුනුරුවන් සරණ ගියහ.

රජ්ජුරුවෝ දැන දැන ද “ස්වාමීනි! රාත්‍රියෙහි අනුභව කරන්නෝ ඇද්ද නැද්ද”යි විචාළහ. මහරජ! විකල් බොජුන් දුරුකළ මෝ වේදැ යි වදාළ කළ “එබැවින් දැන් ම රජගෙට වැඩිය මැනවැ”යි ආරාධනා කොට “මහරජ! අද රෑ මෙතැන්හි ලගිනා කටයුතු ඇද්දැ”යි වදාළ කල “එසේ වී නම් ස්වාමිනි! මේ භණ්ඩුකයන් අප ලා කැටිව එව වදාළ මැනවැ”යි කීහ. එ බසට “මහරජ! ඔහු අනාගාමීහ. ගිහිගෙයි නො ලගිතී, අද රෑ ම මහණ වෙති”යි වදාළ සේක. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ “සෙට මඟුල් රථය එවාලමි, එයින් වැඩිය මැනවැ”යි ආරාධනා කොටලා භණ්ඩුකයන් තනි කොට විචාරා ධර්මාශෝක රජ්ජුරුවන් අගබිසෝ වේටිස මහා දේවීන් කුසින් උපන් ශාක්‍යකුලයෙන් ආ උභයකුල පරිශුද්ධ වූ සංඝමිත්‍ර ස්ථවිරීන් බෑ මිහිඳු මා හිමියන් වහන්සේ බව අසා “සක් රුවනක් හා සිතුමිණි රුවන් එකක් වූවාසේ, මාගේ අණසකට දහම් සකත් රජකුලෙන් ම ලදිමි”යි කිය කියා සතුටින් පින පිනා රජගෙට ගියහ.

එ කෙණෙහි හිරු හස්තගත විය, පුන්සඳ උදා වී ය; මාහිමියන් වහන්සේ භණ්ඩුකයන් කෙස් බාවා මහණ කොට ගෙන සුමන සාමණේරයන් වහන්සේ හඬගා ළඟට කැඳවා “සුමනයෙනි! බණ අසන්ට දෙවියන් හඬගාව”යි වදාළ සේක. එ බසට බෑනනුවන් වහන්සේ “ස්වාමීනි! සක්වළදහසෙක දෙවියන් හඬගා කැඳවම් ද, සියක් සක්වළ දෙවියන් හඬගා කැඳවම් ද, නොහොත් සතිස් ලක්‍ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් වට ඇති මේ මඟුල් සක්වළට ඇසෙන සේ හඬගාම් ද, නොහොත් මේ සියක් යොදුන් ලක්දිවට ඇසෙන සේ හඬගාම් දැ”යි විචාළ සේක. එබසට මාහිමියන් වහන්සේ “මේ ලක්දිව පමණකට හඬ ගාව”යි වදාළසේක. ඉක්බිත්තෙන් මේ ලංකාද්වීපය මුළුල්ලට ඇසෙනසේ තුන්යලක් සුමන සාමණේරයන් වහන්සේ හඬ ගා වදාළ කල, ඒ හඬ අසා මහත් වූ දිව්‍ය සමාගම විය. එ වේලෙහි මිහිඳු මාහිමියන් වහන්සේ බුදුන් වදාළ සමචිත්ත පරියාය නම් සූත්‍ර දේශනාව කොට අසඞ්ඛෙය්‍යක් දෙවියන් අමාමහ නිවන් දක්වා නාග-සූපර්ණාදීන් ශරණ ශීලයෙහි පිහිටුවා වදාළසේක.

ඉක්බිත්තෙන් පහන් වූ කල රජ්ජුරුවන් එවූ මඟුල් රථයට නො නැඟී පළමු කොට රථාචාරීහු යවා තමන් වහන්සේ සිවුරු වැළඳ පාත්‍ර සිවුරු දරා, රහත් සදෙනා හා සමග ආකාසයට නැගී රථාචාරීහු පසු කොට කොළොම් හෝ තෙරට බැස සන්හුන් ගුණෙන් වැඩ නැගෙනහිරි මහවාසලට අභිමුඛ වූ සේක. එපවත් රථාචාරී රජ්ජුරුවන්ට දැන් විය. රජ්ජුරුවෝ ද මෙ පවත් අසා සතුටු සතුටු ව පෙර මඟට දිව පසඟ පිහිටුවා වැඳ පාත්‍රය ගෙන, දිව්‍ය පුරයක් සේ නො එක් පූජා පෙළහරින් සදනලද රාජවීථි මධ්‍යයෙන් රජගෙට වඩා ගෙන ගොස්, රන්මල් සේසතින් සැදුම් ලද සිංහාසන මතුයෙහි වඩා හිඳුවා රාජ භෝජනයෙන් සන්තර්පණය කොට මල් සුවඳින් පුදා අන්තඃපුර හා සමග රාජාඞ්ගණය පුරා පිරිවරා උන්හ.

එ වේලෙහි මාහිමියන්වහන්සේ විමන වස්තුය - ප්‍රේතවස්තුය- සච්චසංයුත් සූත්‍රය-දෙශනා කොට අනුලා දේවීන් ප්‍රධාන වූ පන් සියයක් බිසෝවරුන් සෝවාන් කොට, නාළාගිරිහු වන් රජගහා නුවර සේ තමන් වහන්සේගේ දර්ශන ශ්‍රීයට හැළලුණා වූ මනුෂ්‍ය යන්ට අන්තඃපුරය සම්බාධ හෙයින් පස්වරු හස්ති ශාලාවෙහි දහම් පලක් නැගී වැඩහිඳ දෙවදුත සූත්‍රය දෙශනා කොට, දහසක් පුරුෂයන් සෝවාන්කොට, එ තෙනත් සම්බාධ හෙයින් නුවරට දකුණුදිග නන්‍දා නම් උයනෙහි ධර්මාසන නැඟී වැඩ හිඳ, මැදුම් සඟියෙහි උපරිපණ්ණාසකයෙහි බුදුන් වදාළ බාලපණ්ඩිත සූත්‍රය දෙශනා කොට, දහසක් පමණ කුලස්ත්‍රීන් සෝවාන් කොට, එදා රෑ මහමෙවුනා උයන දවස් යවා;

දෙවන දා උදාසන මහපොළොව ගුගුරුවා මහමෙවුනා උයන පිළිගෙන එ කෙණෙහි අකාල කුසුමාදීන් නොඑක් පෙළහර දක්වා, රජ්ජුරුවන් පහදවා, එයින් මතු මහාසංඝයා රැස් වන රාශිමාලක නම් භූමියෙහි පුලිල ගස මුල ය, එයින් මතු බොහෝ රහතන් දැවටි කෘත්‍යය කරන්නාවූ උත්තම ස්ථානයෙකැයි දන්තාධර නම් පොකුණු භූමියට වැඩ, එයින් ශ්‍රීමහා බෝධිය පිහිටුවන තෙනට වැඩ, එයින් ලෝවා මහ පාය පිහිටන්නාවූ මහ මිදෙල් ගස මුලට වැඩ, එයින් මතු පිරිත් ශාලා ගෙය වන පැනඹ මලුවට වැඩ, එයින් මතු බොහෝ රහතන්ට බත් බෙදන චතුශ්ශාලා නම් භූමියට වැඩ එයින් මතු රුවන්මැලි මහසෑය පිහිටන රත්න මාලකස්ථානයට වැඩ, මේ සප්ත ස්ථානය ම උත්තම ස්ථානය යි, බුදුන් රහතන්ගේ පාරිභෝගික භූමි ය යි ස්තුති කොට, සමන් මල් අට අට මිටින් පුදා, සත් විටක් මහපොළොව ගුගුරුවා, නො එක් අද්භූත දක්වා, එයින් රජගෙට වැඩ, දහවල් වළඳා අන්තයෙහි අඞ්ගොත්තර සඟියෙහි වදාළ අග්ගික්ඛන්‍ධොපම සූත්‍රයෙන් බණ කියා දහසක් දෙනා නිවන් දක්වා.

තුන් වන දවස් ආශිර්විෂොපම සූත්‍රය වදාරා දහසක් පුරුෂයන් සෝවාන් කොට, සතර වන දවස් අනමතග්ග සූත්‍රයෙන් බණ වදාරා, දහසක් පුරුෂයන් නිවන් දක්වා, එ දවස් නුවර සිසාරා සීමා බඳවා, පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි පවත්නා සේ බුද්ධාණත්ති ප්‍රතිෂ්ඨාව කොට, පස් වන දවස් ඛජ්ජනීය පරියාය සූත්‍ර යෙන් බණ වදාරා දහසක් දෙනාට මාර්‍ගඵලදී, සවන දවස් ගොමය පිණ්ඩනම් සූත්‍රය දේශනා කොට දහසක් දෙනාට මාර්‍ගඵල දී, සත් වන දවස් ධම්සක් පැවතුන් සූත්‍රයෙන් බණ වදාරා දහසක් දෙනාට නිවන්ඵල දී මෙසේ නුවරට වැඩි සත්දවස ඇතුළත අටදහස් පන්සියයක් මනුෂ්‍යයන් නිවන් දක්වා, රජ්ජුරුවන් විසින් කරවා පිළිගන්වන ලද සෑගිරි වෙහෙර වස්වැස, වස් අන්තයෙහි සුමන සාමණේරයන් වහන්සේ ශක්‍ර දේවේන්‍ද්‍රයන් කරා යවා, ඔහු කෙරෙහි තුබූ දකුණු අකුධාතුව ගෙන්වා ථූපාරාමයෙහි පිහිටුවා, පළමුවන ධාතු ප්‍රතිෂ්ඨාවෙන් එ දවසු දු මහපොළොව ගුගුරුවා,

නැවත එම සුමන සාමණේරයන් වහන්සේ දඹදිව් යවා ධර්මාශෝක රජ්ජුරුවන් කෙරෙහි තුබූ බුදුන් වැළඳු පාත්‍ර ධාතුව හා ධාතු පාත්‍රයක් ගෙන්වා ලක්දිව ඒ ඒ තැන්හි ධාතු පිහිටුවා රජ්ජුරුවන් බෑනනුවන් අරිට්ඨ නම් කුමාරයන් අත කියා යවා නැඟණියන් සංඝමිත්‍රා නම් මහාස්ථවිරීන් ලවා මහබෝ වඩා ගෙන්වා එමශ්‍රී මහා බෝධිය පිහිටුවා, මහපොළොව ගුගුරුවා, එ දවස් පඤ්ච මහා ශාඛාවෙන් වුහුටු පඤ්ච මහා ඵල ශාඛා රජ්ජුරුවන් ලවා ම රෝපණය කරවා, පිරිත් පැන් ඉස ඵකි එකී ඵලයෙන් අට අට පැළයක් බැගින් පැනනැඟී වනස්පති ව සිටි, සතළිස් මහා බෝධිය ලක්දිව සතළිස් මහා ස්ථානයෙක පිහිටුවා සඞ්ඝමිත්‍රා තෙරින් ලවා අනුලා දේවීන් ප්‍රමුඛ වූ පන්සියයක් බිසෝවරුන් හා ලක්‍ෂගණන් ස්ත්‍රීන් මහණ කරවා, භික්ෂුණී ශාසනය ද පිහිටුවා,

තමන් වහන්සේ රජ්ජුරුවන් මලනුවන් මත්තාභය නම් රාජ කුමාරයන් හා අරිෂ්ට නම් අග මැතියාණන් ප්‍රධානවූ දහස්ලක්‍ෂ ගණන් පුරුෂයන් මහණකොට භික්ෂුශාසනය ද පිහිටුවා බුදුන් වදාළ සුවාසූදහසක් ධර්‍මස්කන්‍ධය දඹදිවින් පොතක් පතක් නො ගෙන්වා, තමන්වහන්සේගේ සිත් නමැති භාණ්ඩාගාරයෙන් පිටත් කොට, දහස් ගණන් ස්ථවිරයන්ට ආගම උගන්වා, සද්ධර්‍ම ප්‍රතිෂ්ඨාවෙන් අද දක්වා ශ්‍රී ලඞ්කාද්වීපයෙහි බුද්ධශාසනය නිෂ්කලංක ව පවත්නා සේ ලෝවැඩ සසුන් වැඩ කළ සේක.

මෙසේ මාගේ බුදුරජාණන් වහන්සේ මේ එක මිහිඳු මාහිමියන් වහන්සේ විසිනු දු කළාවූ ශ්‍රී ලඞ්කාද්වීපයෙහි බුද්ධාණත්ති ප්‍රතිෂ්ඨා ය, බෝධි ප්‍රතිෂ්ඨාය, ධාතු ප්‍රතිෂ්ඨාය, ශාසන ප්‍රතිෂ්ඨාය, සද්ධර්‍ම ප්‍රතිෂ්ඨා ය යි යනාදීවූ අප්‍රමාණ වූ ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත් නොකියන ලද අප්‍රමාණ වූ ස්ථවිරයන් විසින් කරනලද අප්‍රමාණ වූ ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත් අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදී:

පූජාවිසෙසං සහපච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං-යි

මේ පූජාවලියෙහි අප බුදුන් මිහිඳු මාහිමියන් ගෙන් ලද

ප්‍රතිපත්ති පූජා කථා නම් වූ තෙතිස් වන පරිච්ඡෙදය නිමි.

34. උද්දේසික පූජා

සිංහල රාජාවලියෙහි එක්සිය තෙපණස් රජහු

තව ද: අප බුදුන් ශ්‍රී ලංකාද්වීපයෙහි හැම රජුන්ගෙන් ලද උද්දෙසික පූජා කථා නම් කවර යත්?

අනාගත කාලයෙහි පන් දහසක් හවුරුදු පවත්න බුද්ධ ශාසනයට මතු වන නො එක් සිංහලාධිපති වූ පින්වත් රජුන් විසින් කරන උද්දෙසික පූජා අපමණ වන බැවින් එහි වර්ණනාව ධර්‍ම කථිකයන්ටම හළිමි. මෙ තෙන වනාහි බුදුන් ගේ සද්ධර්මාමෘත ගංගාවට බැස සිත් සේ ඇවිදිනා සමයට පූර්වභාගයෙහි උපන් සිංහලාධිපති රජුන් බුදුන්ට කළ උද්දෙසික පූජා සංක්‍ෂේපයෙන් පවසමි.

අප මහා ගෞතම බුදුන්ගේ ප්‍රථම බොධියෙහි පටන් මාගේ මේ ස්තුති පූජාවගේ අවසානයට, එක්දහස් අටසිය සූපනස් හවුරුද්දෙක් අතික්‍රාන්ත විය. මෙවකට සිංහලාධිපති රජහු එක්සිය තෙපනස් දෙනෙක් වොටුනු පැලඳ රජ කළහ.

ඔහු කිනම්හ යත්? පළමු වන විජය රජය, උපතිස්සය, පණ්ඩුවාසය, අභය, පණ්ඩුකාභය, මුටසීවය, දෙවනපෑතිස් ය, උත්තීයය, මහ සීව ය, සූරතිස්ස ය, අශ්වාචාරී ය, අසේල ය, එළාලය, මානා රජ ය, යටාල තිස්ස ය, ගොළු අබාය, කාවන් තිස්ස ය, දුටුගැමුණු ය, සැදෑ තිස්ස ය, තුල් නම් රජ ය, ලැමැති තිස් ය, කලුන්නා ය, පංච ද්‍රවිඩ ය, වළගම්බාහු ය, මහදැළියා තිස් ය, චොරනාග ය, කුඩ තිස් ය, බලත් සිවුවා ය, වටුක ය, පෙරවි ය, වාසුඛී ය, බැල තිස් ය, අනුළා ය, මකළන් තිස් ය, භාතිය ය, මහදැළියාය, අඬ ගැමුණු ය, කිණිහිරි දැළි ය, කුඩා අබාය, සීහ වල්ලි ය, එළුන්නා ය, සඳ මුහුණු ය, යස සිළුය, ශුභ බලතා ය, වහප් රජ ය, වක් නා තිස් ය, ගජ බාහු ය, මහලු මා නා රජ ය, භාතිය තිස්ස ය, චුළ තිස්සය, කුහුන්නා ය, කුඩා සිරිනා ය, වොහර තිස්ස ය, අභය තිස්ස ය, සිරිනාග ය, විජයිඳු ය, සංඝ තිස්සය, දැහැමි සිරිසඟබෝ ය, ගෝඨාභය ය, කළකැන් තිස් ය, මහසෙන් රජ ය යි මහාවංසයෙහි වොටුනු පැලඳ රජ කළාවූ රජුන් තෙසැට දෙනෙකු හා,

චූළවංශයෙහි:- කිත් සිරි මේ රජය, දෙට තිස් ය, බුජස් රජය, උපතිස්ස ය, මහා නාම ය, සෙන් ගොත් ය, ලැමැනි තිස් ය, මිත්සෙන් කරල් සොරා ය, ස රජ ද්‍රවිඩ ය, දාසෙන් කැලි ය, සීගිරි කසුබු ය, මුගලන ය, කුමාරදාස ය, කීර්තිසේන ය, මැදි සිවු ය, ලැමැනි උපතිස්ස ය, අඹ හෙරණ ය, දාපුළු සෙන් ය, දල මුහලන, කුඩා කිත්සිරි මෙවන, සෙනෙවි මහරජය, ලැමෙනි සිඟානා ය, අග්බෝ රජ ය, කුඩා අග්බෝ රජ ය, සඟ තිස ය, ලැමෙනි බොනා ය, අසිග්ගාහක ය, සිරිසඟබෝ ය, ලැමෙනි කටුසර ය, දළුපතිස් ය, පැසුළු කසුබු ය, දාපුළු ය, ලැමෙනි දළුපතිස් ය, පැසුළු දළුපතිස් ය, සිරි සඟබෝ ය, වල්පිටි වැසි දත්ත ය, හුනන්නරු රියන් දළය, මහ ලෑපානෝ ය, අග්‍ර බෝධිය, සෙන් මහරජ ය, සුළු කසුබු ය, මිහිදෙල ය, සුළු අග්බෝ ය, කුඩා අග්බෝ ය, සලමෙවන් මිහිඳු රජ ය, උදා රජ ය, සොමිහිඳු ය, මැදි අග්බෝ ය, දාපුළු ය, පැසුළු අග්බෝ ය, සෙන් මහරජ ය, මුගයින් සෙන් ය, උදා රජ ය, කසුප් රජ ය, පැසුළු කසුබු ය, දාපුළු ය, කුඩා දාපුළු ය, උදා රජ ය, සෙන් රජ ය, උදා මහරජ ය, පැසුළු සෙන් රජ ය, මැදි සෙන් රජ ය, කුඩා මිහිදෙල, සලමෙවන, මිහිඳු රජ ය, වික්‍රම බාහු ය, මහලේ රජ ය, වික්‍රම පාද්ධි ය, ජගත් පාල ය, පරාක්‍රම පාද්ධි ය, ලෝකේශ්වර සෙනෙවි ය, මහලු විජය බාහු ය, ජයබාහු ය, වික්‍රම බාහු ය, මහලු පරාක්‍රම බාහු ය, පණ්ඩිත විජයබාහු ය, කිලිං කෙස්දා මිහිඳුය, කීර්ති නිස්සංකමල්ල ය, වීර බාහු ය, වික්‍රම බාහු ය, චෝඩගංග ය, ලීලාවතී ය, සාහස මල්ල ය, කල්‍යාණවතී ය, ධර්මාශෝක ය, ඇනියඟ ය, ලීලාවතී ය, ලෝකේශ්වර ය, ලීලාවතී ය, පරාක්‍රම පාද්ධි ය, මාඝරාජ ය, විජයබාහු ය, පරාක්‍රමබාහු ය, යි සුළුවංසයෙහි රජය කළ අනූ දෙනෙකු හා මෙසේවූ රජ එක්සිය තෙපනස් දෙනෙක් සිරිලක රජය කළහ. එයින් පින්වත් රජුන් බුදුන් පිදූ පරිදි කවර? යත්;

දෙවන පෑතිස් රජු පටන් මහා වංශයේ රජුන් කළ පූජා

ශ්‍රී ලඞ්කාධිපති වූ පින්වත් රජ යුවරජ මහ ඇමැතියන් විසින් සාවධාන ව ඇසිය යුතු. සිරිලක සත් වනු ව ඉපැද පින්වත් වූ යට කී ඒ දෙවන පෑතිස් රජ්ජුරුවෝ මිහිඳු මාහිමියන් වහන්සේගේ අනුශාසනා වූ පරිද්දෙන් ලෝ වැඩ සසුන් වැඩ කරන්නාහු. මහබෝ වඩා ආ ක්‍ෂත්‍රිය කුමරුවන් අටදෙනා අතුරෙන් බෝන්ගොත් කුමාරයන්ට ලක් මහ ලේ නා තනතුරු දී, සුමිත් කුමාරයන්ට ජය මහ ලේ නා තනතුරු දී, සඳගොත් කුමාරයන්ට විල්බා මූල රජුන්ගේ තනතුරු දී, දෙවුගොත් කුමාරයන්ට මහරැටි නා තනතුරු දී, මහදම්ගොත් කුමාරයන්ට මහසිටු නා තනතුරු දී, හිරුගොත් කුමාරයන්ට කොතුරුගානා තනතුරු දී, සිසිගොත් කුමාරයන්ට සක්දා නා තනතුරු දී, ජුතින්ධර කුමාරයන්ට අරක් මේ නා තනතුරු දී, ශ්‍රී ලඞ්කාද්වීපය මුළුල්ලෙහි යොදනෙන් යොදනෙහි දාගබක් සංඝො වාසයක් බැගින් සුවාසූ දහසක් දාගබ් බඳවා පූජා කළහ. සුවාසූ දහසක් සංඝාරාම කරවා පූජා කළහ. තිසා වැව බඳවා ලෝවැඩ කළහ. මෙසේ චෛත්‍ය පූජා ය, සංඝාවාස පූජා ය, බොද්ධ්‍යඞ්ගණ පූජා ය යි යනාදී වූ අප්‍රමාණ වූ පූජා කරවා ඒ දෙවන පෑතිස් රජ්ජුරුවෝ සතලිස් හවුරුද්දක් දැහැමෙන් රාජ්‍යය කොට දෙවුලොව ගියහ.

ඔහු මල් උත්තිය නම් රජ දස හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු මල් මහාසීව නම් රජ දස හවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඔහු මල් සූරතිස්ස නම් රජ දස හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහුට ඉක්බිති ව ලක්දිවට අසුන් ගෙනා අශ්වාචාරි දෙබෑ කෙනෙක් දෙවිසි හවුරුද්දක් රාජ්‍යය කළහ. මේ දෙමළුන් දෙදෙනා මරා ලුහුබඳවා ඒ දෙවනපෑතිස් රජහු මල් අසේල රජ දස හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. සොළී රටින් එළාල නම් දෙමළ රජෙක් ලක්දිවට බැස අනුරාධපුර නුවර ගෙන අසේල නම් රජහු මරා රුහුණ හැර, ලක්දිව මුළුල්ලෙහි සසුන් නසා, දෙතිස් දෙමළ කඳවුරක් ඇති කරවා, විසි මහා යෝධකෙනකුන් ඇති ව, සුසාළිස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය.

යට කී දෙවන පෑතිස් රජහු මල් මානා රජ තමාට විෂ ගෙන යෙදූ අඹ එවූහ යි බැදෑ බිසොවුන් කෙරෙහි කලකිරී බැහැනන් රාජ්‍යය කරන සමයෙහි ම රුහුණු ගොස්, රජය කොට, යටාල තිසුන් ලදහ. ඒ යටාල තිස් රජ කැලණි වෙහෙර තිස් මහ පහය ඇතුළු වූ කැලණි වෙහෙර කරවා එහි ම රජය කෙළේ ය. ඔහු පිත් ගොළු අබා නම් රජ රුහුණු ගොස් රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් කාවන් තිස් රජ කැලණි වෙහෙර, තිස්සමහ වෙහෙර, දෙමට ගල්, සිතුල් පවු, මහගම් තොටලු, තරහල්පවු, කළු මුහුදු ගිරි, උතුරු වරා, නියම් පටුන්, ගලු, බිසොවළු, රත්කරවු, දොරවේරු, සඳගිරි වෙහෙර ආදි වූ විහාර මුල්පිස කරවා මහත් වූ පූජා කොට කැලණිතිස් රජහු දූ වෙහෙර නම් ලද බිසොව අගබිසෝ කොට, දුටුගැමුණු රජු හා සැදෑතිස් කුමරුවා හා දරු දෙදෙනා ලදින් රුහුණැ හිඳ ම රාජ්‍යය කොට දෙව් ලොව ගියේ ය.

ඔහු පිත් දුටුගැමුණු මහ රජ පියරජහු අයාමෙහි මේ ලඞ්කාද්වීපයෙහි දෙතිස් දෙමළ කඳවුරු බැඳ වෙහෙර “සසුන් නසා ලක්දිව පුරා හුන් එළාල රජු හා දෙමළ මහසෙන් දැක බුද්ධශාසනයෙහි උපන් මහා කරුණාවෙන් “පරසතුරන් නසා ලක්දිව සසුන් හෙළිකළ දවසෙක මුත් දෙපය දිගුකොට වැද නො හෙමි”යි මහත් වූ අභිමානයෙන් මන් බැඳ තමාගේ එකොළොස් දහස් එක්සියදස මහ යෝධයන් ගෙන කඩොල් නම් ඇත්රජහු පැන නැගි රුහුණු රජයෙන් රැහැණිව, රජසෙන් ගෙන, නික්ම, දෙතිස්දෙමළ කඳවුරෙහි දෙතිස්, දෙතිස් දහස් බැගින් ඇනි ලා හුන් දශලක්‍ෂ සූවිසි දහසක් පමණ දෙමළුන් මරා, එළාල රජහුද මරා, අනුරාධපුර නුවර ගෙන, වොටුනු පැලඳ, එතැන් පටන් දශ රාජ ධර්‍මයෙන් රාජ්‍යය කෙළේය. ඒ රජ මෙසේ වූ වික්‍රමයක් ගිය දවස බෝ-මළුවක් හැමඳපු කුසල් පමණකින් ම ලදහ යි දතයුතු.

ඒ රජ මෙසේ ලෝකශාසනයට මවක සේ ලක්දිව මිථ්‍යා දෘෂ්ටීන් දුරුකොට ශාසනෝපකාර කරනුයේ නව අනූවක් පමණ රජමහා විහාර කරවා, එකුන් සියක් මහපූජා කෙළේ ය. තව ද: මිරිස් පැස්සක් බුදුන් දරුවන්ට නො දී, සඳහන් මඳ ව, කෑවා වූ දඬුවමට, එකුන් විසි කෙළක් පමණ ධන වියදම් කොට මිරිසවිටි නම් මහසෑය කරවා ලක්දිව මහසඞ්ඝයා රැස්කොට සත් දවසක් මහ දන් දී පූජා කෙළේ ය. තව ද: අයමින් විතරින් එක්සිය විසි රියන් පෙළෙක සතළිස බැගින් සතළිස් පෙළක් ඇති එක් දහස් සසියක් මහටැම් හිඳුවා නව මහල් ඇති, දහසක් කන්කුළු ඇති ලෝවාමහපාය තිස්කෙළක් පමණ ධන වියදම් කොට කරවා, සඞ්ඝාරාම කොට පිළිගන්වා, සත් දවසක්

මුළුල්ලෙහි මහත්වූ දාන පූජා කෙළේය. තව ද: එක්සිය විසි රියන් රුවන්මැලි නම් මහසෑය බඳවා, අනන්ත නම් නාගරාජයා කෙරේ තුබූ ද්‍රෝණයක් පමණ ධාතු දොළොස් හැවිරිදි සොණුත්තර නම් සාමණෙර කෙනකුන් ලවා බලාත්කාරයෙන් ගෙන්වා, ඒ දාගබ පිහිටුවා සයානු කෙළක් පමණ මහරහතන්ට සත් දවසක් මහ දන් දී අනර්ඝ වූ වස්තු සූවිස්සක් හා දෙකෙළ දහසක් පමණ ධන පරිත්‍යාගයෙන් ඒ රුවන්මැලි නම් මහා චෛත්‍යය පූජා කෙළේය.

එ සමයෙහි පූජා කරන සතියෙහි සයානූකෙළක් මහරහතන් වැළඳූ පාත්‍ර සේධූ බයා නම් මහ වෑ පත්ලෙහි සතරඟලක් පමණ හෙළඟිතෙල් මිදී සිටගත. ඒ වෑ පත්ලෙහි හටගත්තා වූ ශුණ්ඩිලාදියෙහි අද දක්වාත් ගිතෙල් ගුණය නො හැරේ ම ය. තව ද: ඒ රජ සූවිසි වාරයෙක බුදුන් උදෙසා ම වෙසක් පූජා සූවිස්සක් කෙළේ ය. මේ ශ්‍රී ලඞ්කාද්වීපයෙහි හැම භික්‍ෂූන්ට නො වරදවා තුන්වාරයෙක අටපිරිකර දී පූජා කෙළේ ය. සත් සත් දවස් බැගින් ශ්‍රී ලඞ්කාද්වීපය පස් වාරයෙක බුදුන්ට පූජා කෙළේ ය. දවස්පතා හෙළඟිතෙල් පහන් දොළොස් දහසක් බැගින් ම පූජා කෙළේ ය. දවස් පතා ගිලන්පස අටළොසක් තබා දින. අටළොස් ස්ථානයෙක බෙහෙත් බඩු තබා දින. සුසාළිස් ස්ථානයෙක පැන් නො වකා පිසූ කිරිබත් තබා දවස දවස දින. තව ද: හෙළඟිතෙල බැදි පුළුප් බඳනා තබා දින. තව ද ලඞ්කාද්වීපය මුළුල්ලෙහි සියලු විහාර ම නො වරදවා මසකට අටවාරයක් බැගින් පහන් පූජාවට තෙල් තබා දින.

තව ද: ධර්‍ම දානයෙහි ආනිසංස බෙහෙවැ යි අසා තමන් තෙවළා නිම වූ හෙයින් තමන් කැරවූ ලෝවා මහපායට මහසඟ පිරිස් රැස්කොට තුමූ ධර්මාසන පැනනැඟී මඞ්ගල සූත්‍රයෙන් බණ කියමි යි හිඳ දොළොස් දහසක් පමණ රහතන් දැක, උපන් අස්ථාන භයින් බණ කිය නොහී, සර්වාඞ්ගයෙහි ඩා සෙලවී, ධර්මාසනයෙන් නැඟී, “ස්වාමිනි! බණ කියන්ට භය ඇතියෙමි, ධර්‍මදානයෙහි පින් කෙසේ ලැබේ දැ”යි විචාරා “මහරජ! තොප නමින් වෘත්ති දී බණ කියවව”යි වදාළ කල එතැන් පටන් ගෙන ධර්‍ම කථිකයන්ට මහත් වූ සත්කාර කොට, ශ්‍රී ලඞ්කාද්වීපය මුළුල්ලෙහි හැම විහාරවලට තමන් නමින් ම බණ පවත්වා, මාස් පතා එකෙකි ධර්‍මකථිකයන් හට ගිතෙල් උක්පැණි ශකිරා නැළි නැළි බැගින් දී, සතරඟුල් වැල්මී කඩක් පිළීසඟලක් බැගින්, මාස්පතා මෙ කී වෘත්ති තබා දී, එකි එකී ධර්‍මශාලාවෙහි අනැඟිවූ වියනක් ධර්මාසනයක්, ඇතිරිලියක්, දණ්ඩාසනයක්, බණවස්නක්, කම්බිලියක්, විජිනිපතක්, බණපොතක්, බැගින් ලවා මෙසේ ධර්‍මයට ද සත්කාර කොට, බුදුන් උදෙසාම අප්‍රමාණ වූ පූජාවෙන් පින් රැස්කොට සූවිසි හවුරුද්දක් දශ රාජධර්‍මයෙන් රාජ්‍යය කොට, “මෙතේ බුදුන්ට අගසවු වෙමි”යි පතා ගොසින් තුසීපුර ඉපැද විය.

ඔහු මල් සැඳෑතිස් රජ පදිකටුන්නරු, දිවගුණු, උතුරළ, නෑපි යොව, සොදිගමු, මාලදෙණි, මාමද්ධලා, කැඳලා, රැඳලා, මහගුළු, රැන්දා, නා තෙලෙ ආදි වූ දොළොස් වැවක් බඳවා, දිශානකාදි වෙහෙර කරවා මහ පූජා කොට අටළොස් හවුරුද්දක් රාජ්‍යය කොට තුසීපුර ම ගිය.

ඔහු පිත් තුළුන රජ උදා වෙහෙර කරවා එක්මස් දසදවසක් රාජ්‍යය කෙළේ ය. ඔහු මල් ලැමැනිතිස් රජ නව හවුරුදු අටමස් දෙපෝයක් රාජ්‍යය කෙළේ ය. ඔහු මල් කලුන්නා රජ සහවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු මල් වලගම් අබා රජහු පස්මසක් රාජ්‍යය කළ කල, සොළී රටින් දෙමළු සත් දෙනෙක් සත් සෙනගක් ගෙන, සත් තොටකින් ලක්දිව් බැස, ඔහු ලුහුබඳවා රජය ගෙන, එකෙක් පාත්‍රධාතුව ගෙනගිය. එකෙක් රජහුගේ සොමි නම් බිසොව ගෙන ගිය; සිටි දෙමළු පස්දෙනා පිළිවෙළින් තුදුස් හවුරුදු සත් මසක් රජය කොට සිටි කල, වළගම් අබා රජ මායා රජයේ හිඳ බල පිරිස් ගෙන, දිව ගොස් නුවර වැද, ඒ දෙමළුන් මරා රජය ගෙන, ලඞ්කාද්වීපයෙහි ගල්ලෙනවල පෙර තමා වල වසන කල ප්‍රයෝජන දැක, කටාර කොටවා දොළොස් හවුරුදු පස් මසක් රාජ්‍යය කෙළේ ය. බැමිණිටියා සායත් මොහු සමයෙහි ම විය. මොවුන් දවස පන්සියයක් රහතන් වහන්සේ අලුලෙන වැඩහිඳ පොත් සඞ්ගායනා කළ සේක.

පෙර කී කලුන්නා රජහු පිත් මහ දැළියා තිස් කුමර තුදුස් හවුරුද්දක් රාජ්‍යය කෙළේය. පසුව වළගම්බා රජහු පිත් චොරනාග නම් රජ අටළොස් වෙහෙරක් මුලිනුදුරා නසා, බොහෝ පවු පුරා, දොළොස් හවුරුද්දක් අධර්‍මයෙන් රාජ්‍යය කොට පසුව ලක්දිව් වැස්සන් විසින් නස්නා ලදු ව, ලෝඇඳිරි නරකයෙහි කළාකඤ්ජක නම් මහා ප්‍රේත ව මේ මුළුල්ලෙහි ම ප්‍රේත දුකට භාජන විය.

ඔහු ඉක්බිති ව මහදැළියා තිස් රජහු පිත් කුඩ තිස් නම් රජ තුන් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු අඹු අනුළා නම් බිසොවක් ඒ රජුට වස දී මරා බලත් සිවුවා ලවා එක් හවුරුදු දෙමසක් රජය කැරවුව. ඔහු වස දී මරා වටුක නම් දෙමළකු ලවා එක් හවුරුදු දෙමසක් රජය කැරවුව. ඔහු වස දී මරා පුරෝහිත බමුණා ලවා සමසක් රජය කැරවුව. ඔහු වස දී මරා වාසුඛි නම් නැකැත්තා ලවා එක් හවුරුදු මසක් රජය කැරවුව. ඔහු වස දී මරා තොමෝ සාරමසක් රජය කළා ය.

පෙර කී සූර්‍ය්‍යවංශයෙන් ආ කුඩා තිස් මහරජහු පිත් මකළන් තිස් රජ තමා පියාණන්ට වස දී මැරූ බිසොව මරා, දෙවිසි හවුරුද්දක් රජය කෙළේය. ඔහු පිත් භාතිය නම් රජ රුවන්මැලි දාගබ ඇතුළත රහතන් වහන්සේ පිරිත් බණන හඬ අසා “ඇතුළට වැද බණ අසා මුත් නො නැඟෙමි”යි නිරාහාර ව, සලපතරේ වැදහෙව ශක්‍රභවනය කම්පාකොට ශක්‍රයා ගෙන්වා, ඔහුගේ සහයෙන් ධාතුගර්භයට වැද, සිත් සේ වැඳ බලා පිටත්ව, තමා දාගබ් කුසැ දුටුතාක් ප්‍රතිමා රූප මණ්ඩපයක කරවා, රුවන්මැලි දාගබට නො එක් වාරයෙහි පූජා කොට අටවිසි හවුරුද්දක් දැහැමෙන් රජය කෙළේ ය.

ඔහු මල් මහදැළියා මානා රජ සෑගිරියේ අම්බලු දාගබ කරවා ධාතුපූජා කොට, කොළොම් හොය සිට පාදෙව පියවිළිපිටින් ගොස් සෑගිරිය වඳනා ලෙස අලඞ්කාර කොට, ලක්දිව් වාසීන් දෙන අය නො ගෙන අනුරාධපුර නුවරට සතරදිගින් සතර සතර ගවු තැන උයන් කරවා, එහි සීනිද්ද, බෝලිද්ද, දෑසමන්, සපු, නා, දොඹ, දුනුකේ, වැටකේ ආදි වූ සුවඳ මල්වතු කරවා තමන් කැරවූ සෑගිරි දාගබ හා රුවන්මැලි දාගබ හා දෙක වටා කීල හිඳුවා සුවඳ මල් කොත අග සලා දාගබ නො පෙනෙන සේ මල්වරුයෙන් වසා, මෙසේ මහත් වූ මල්ලූජාවක් කොට, සියක් යොදුන් ලඞ්කාද්වීපය සිසාරා ලක්දිව මැද පටන් මුහුදු පිට යොදනක් පමණ තැන් යතා හොරු අනවකාශ කොට, තබා හොරු පිට ඇවිරි බඳවා, තැන තැන මණ්ඩප කරවා සූවිසි දහසක් මහ සංඝයා මුහුදුපිට වඩා හිඳුවා, පෙරවරු මහ දන් දී තුලාභාර දන්දී, තුන්යම් රාත්‍රියෙහි ලඞ්කාද්වීපය සිසාරා එක පාන් ඇගෑයක් සේ හෙළගිතෙලින් ම පාන් පූජා කෙළේ ය. ඒ රජ ද කුසල් කොට දොළොස් හවුරුද්දක් දැහැමෙන් රජය කොට දෙවුලොව ගිය.

ඔහු පිත් අමද්ධගැමුනු මහ රජ මුළු හෙළදිව අමාවළක් සේ කරවා, සතුන් නො මරන පරිද්දෙන් බෙර ලවා, සියලු සතුන් පවුකළ නො දී පින් කොට නව හවුරුදු අටමසක් රජය කොට දෙව්ලොව ගිය. ඔහුමල් කිණිහිරි දළ මහරජ බෑරජහු මරා තෙමේ තුන් හවුරුද්දක් අධර්‍මයෙන් රජය කොට අපායගත විය. පෙර කී අමද්ධගැමුනු මහරජහු පිත් කුඩ අභා මහරජ හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු නං සිංහවල්ලි නම් බිසෝ සාරමසක් රජය කළාය. අමද්ධගැමුනු රජහු බෑන එළුන්නා මහරජ ඇය තමහට බිසෝ කොට සහවුරුද්දක් රජය කෙළේය. ඔහු පිත් සඳමුහුණු රජ අට හවුරුදු සත්මසක් රජය කෙළේ ය. ඔහු මල් යසසිළු නම් රජ සත්හවුරුදු අටමසක් රජය කෙළේ ය. ඔහු මරා ශුභ නම් බලතෙක් සහවුරුද්දක් රජ ය කෙළේ ය. ඔහු මරා ලැමැනි වංශයෙන් ආ වහප් මහරජ අනුරාධපුර නුවර එකි එකී අතින් සතර සතර ගව්වෙහි සොළොස් ගවු සිසාරා මහ පවුරක් ලවා නීතුපත්පැන කොළොම්ගළු, රේරු, මානා, කැටි, කැලි කොළොම්නා, කැලිවසා මඟුණු, අස්වඩුන්නා, රතුපුල, කළු, සිඹලැ, මකුළු, මුඟුණු, අක්වඩුන්නා යන මහවැවූ සොළොසක් බඳවා, ථූපාරාමයෙහි වටදා ගෙය කරවා, මේ ආදි වූ නො එක් කුසල් කොට, බුද්ධ පූජා කරවා සුසාළිස් හවුරුද්දක් රජයකොට දෙවුලොව ගිය.

ඔහු පිත් වක් නැහැ තිස් නම් රජ තුන් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් ගජබාහු නම් රජ තමා දවස ලක්දිවින් මිනිසුන් කාවේරියේ මෙහෙයට යෙති යනු අසා අමාත්‍යයන් ගෙන්වා විචාරා උදහස් ව, පියරජහු කැරවූ යෝධයන් පන්සියයක් ඔසවා දීලන තමන්ගේ යගදාවාගෙන, ප්‍රදක්‍ෂිණාකොට සයුරුපැහැර පින් බෙලෙන් දිය දෙබේ කොට පිටිපතුල් නොතෙමා සොළීරටට ගොස්, තමාගේ බල පා, කාවේරියේ මෙහෙයට ගියවුන් හරවා එතෙන සිට, කාවේරියේ මෙහෙයට ලක්දිව් වැස්සන් නොගන්නට ව්‍යවස්ථා කරවා, මුහුදුකරය වටා රකවල් ලවා අවුත් ලක්දිව බෙරලවා බොහෝ කුසල් කොට දෙවිසි හවුරුද්දක් රාජ්‍යය කොට දෙවුලොව ගිය.

ඔහු පිත් සුහුරු බඩු මහලුමානා රජ සහවුරුද්දක් රජය කෙළේ ය. ඔහු පිත් භාතිය තිස්ස රජ නාගදිවයින කිරිපලු ගස මුල කිරිපලු දා ගෙය කරවා, සූවිසි හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු මල් චූළතිස්ස රජ අටළොස් හවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඔහු පිත් කුහුන්නා රජ දැහැවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඔහු මරා කුඩනා රජ හවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඔහු බෑන කුඩා සිරිනා රජ එකුන් විසි හවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඔහු පිත් වේරතිස්ස නම් රජ දෙවිසි හවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඔහු මල් අභාසෙන් නම් රජ අට අවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. පෙර කී වේරතිස්ස රජහු පිත් සිරිනාග නම් රජ දැහැවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් විජයිඳු රජ සහවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ලැමැනි කඩින් ආ සඟතිස්ස නම් රජ සතර හවුරුද්දක් රාජ්‍යය කෙළේය.

ඔහු ඉක්බිතිව දැහැමි සිරිසඟබෝ රජ තමා රාජ්‍යය කරන කල දුර්භික්‍ෂයෙන් වැසි නො වස්නා දැක, තමන්ගේ ශීල තේජසින් වැසි වස්වා රුහුණු රජයෙහි රතැස් නම් රාක්‍ෂසයාගේ භයින් පීඩා වූ කල “ඔහු දැක මුත් නො නැඟෙමි”යි පෙහෙවස් ඉටා වැදහෙව, තමන්ගේ ශීල තේජසින් ඔහු ගෙන්වා “කුමක් නිසා මාගේ රාජ්‍යයට පීඩා කෙරෙයි දැ”යි විචාරා “එක් ගමෙක මිනිසුන් දුනහොත් සෙසු සතුන්ට පීඩා නො කෙරෙමි”යි කීකල “එසේ නොපිළිවනැ”යි ක්‍රමයෙන් ඔහු ගිවිස්වා “එකකු දුන මැනවැ”යි කී කල “මා හැරගන, අනිකකු නො දෙමි”යි කී කල “නුඹ වැනි ධර්මිෂ්ඨ රජකු කන්ට මා වැනි රාක්‍ෂසයන් සියයකටත් බැරි ම ය”යි කී කල, රජ ඔහු කෙරේ පැහැද ඒ රක්තාක්‍ෂියාට ගමක් පාසා බිලිදෙන නියායෙන් ගිවිස්වා, ඔහු විසින් වන උපද්‍රව සන්හිඳුවා බීලිබතැයි යන ව්‍යවහාර ඇතිකොට, මෙසේ දැහැමෙන් රාජ්‍යය කොට ලැමැනි ගොළු අබා රජහු අවුත් රජය ගත් කල, ඔහුගේ භයින් රජය හැර වල් වැද, මහණ වෙසින් මායාරට කැළණි මහ වෙහෙරට ඵෙශානී දිග්භාගයෙහි හත්වනගලු නම් වෙහෙර වටදා ගෙය පිහිටි ස්ථානයෙහි වල සැඟවී වැස “දැහැමි සිරි සඟබෝ රජහු හිස ගෙනා එකක් හට බොහෝ සැපත් දෙමි”යි ගොළු අබා රජහු බෙර ලැවූ කල, එපවත් අසා තමන් දුටු දිළිඳක්හට කියාතුබුයෙන් අත පැන් වත් කොට, අත වැකි දියෙන් කරවටා ඇඳ, බුදුබව පතා ඕහට හිස දන් දී, ඔහු ගෙනගිය හිස ඉඳීමැ මහත් වූ හෙයින්, රජු හා ඇමතියන් නොගිවිස්නා වේලෙහි ඔහු හිස අහසට දැමු කල අහස්කුස රඳා:-

රාජා හ’ මෙව සුහදො සිරිසඞ්ඝබොධි

සීසප්පදාන විධිනා‘ස්මි සමිද්ධචිත්තො

ත්‍වඤ්චාසි රජ්ජසිරිලාභසුඛෙන දෙව

එසො ච හොතු පටිපන්නසහස්සලාභො–යි.

යන මේ ගයින් “දැහැමි සිරි සඟ බෝ රජ නම් මම මැ”යි දෙවියන්ගේ බලයෙන් කැපු හිසින් දෙස් කියවා, ඒ දිළිඳුහට බොහෝ සැපත් දෙවා දැහැවුරුද්දක් මෙසේ දැහැමෙන් රජය කොට දෙවුලොව ගිය.

ගොළු අබා රජ ඔහු කෙරේ පැහැද හිස දන් දුන් තැනට අවුදින්, එතෙන වට දා ගෙයක් කරවා, මහත් වූ පූජා කොට, නැවත අනුරාධපුර නුවර ගොස් ලෝවා මහ පායෙහි පස්මහලක් කරවා තෙළෙස් හවුරුද්දක් රජය කොට දෙවුලොව ගිය.

ඔහු පිත් කළකැන් දෙට තිස් රජ නැඟී පියරජහු සාදා ගත නුහුණු ලේ ලැමැන්නන් සැටදෙනකු අල්වා මරා උල හිඳුවා, රජය ගෙන, එකාත පත්‍ර කොට පියාණන් කරවා නො නිමි ලෝවා මහපායෙහි තුබූ සතරමහල නිමවා කොත් පලඳවා මහපූජා කොට, හෙළුග්ගමු, මහටඹු, දෙමටෑ, පිසත්නා, වඩුගමු, බමුණුගමු යන මහ වැවු සයක් බඳවා; පැදැලා පිරිවෙන, මුල්ගිරි වෙ‍ෙහර, බදුලු වෙහෙර, එළගල් වෙහෙර යන මහා විහාර සතරක් කරවා මහත් වූ පූජා කොට, මෙසේ දස හවුරුද්දක් දැහැමෙන් රාජ්‍යය කොට දෙවුලොව ගිය.

ඔහු මල් මහසෙන් රජ රජ ව යකුන් අහිතින් ද මෙහෙ ගෙන මිනිහිරි වැව බඳවා, කරාගඟැ මිනිහිරි වැවට දිය යන ලෙස අමුණු බඳවා, දෙවියන් පෑ සලකුණෙන් තලවතු ඇළ බිඳුවා, දිය පාවා, විසි දහසක් කුඹුරු කිරි කරවා, දෙනා නකයෙහි සඞ්ඝයාට දන් වරු පෙත්කොට ලවා; නැවත: මුවගමුව, සුරුල්ල, කැණදිය, දෝර මහමිණිය, කොක්කාදනවු, සකුරොබොරු, රත් මල්කඩ, කවුඩුමාගලු, සුළුගලු, කලවාණ, කිඹුල්වාණ, ගැටුප්, මාදරගලු, වෙලන්පිටි, වඩුන්න, සිරුවලා, රන්තිසැ, මිනිහිරි ඇතුළු වූ මහවැවු සතළොසක් යක්‍ෂයන් හා මනුෂ්‍යයන් අතින් මෙහෙ ගෙන බඳවා දෙනානක නම් මහ සෑය බඳවා ධාතු නැත්තෙන් දෙවියන්ට අයද ආකාශය බැලී ය. එ කෙණෙහි දෙවියෝ අප බුදුන් බැඳී පටි ධාතුව ගෙන ආකාශයෙහි එල්වා පෑහ.

රජ සතුටුව පටි ධාතුව වැඳ දොහොත දිගු කෙළේ ය, දෙවියෝ මඳක් ඔසවා පෑහ; රජ ද මඳක් අත ඔසවා පැලීය; තව ද: රජහු වෙහෙසනු නිසා ඔසවා ගත්හ; තව ද එසවී රජ අත දිගු කෙළේය. තව ද ඊටත් වඩා දෙවියෝ ඔසවා ගත්හ: එ කල රජ කිපී කඩුපත හයා ඉස සිසාරා අසූ රියනක් අහසට පැන පටිධාතුව මැදින් පොලුගත. දෙවියෝ අත තුබූ අඩ බෝය දෙවුලොව ගෙන ගියහ. එ රජ තමා කපා හැර ගත් පටිධාතු අඩ මහ පූජාවෙන් ගෙන ගොස් දාගබ පිහිටුවා මහත්වූ පූජා කොට, සත්විසි හවුරුද්දක් රාජ්‍යය කොට දෙවුලොව ගිය. විජය රජු පටන් මේ මහසෙන් රජහු අවසන් මහාවංශයෙහි වොටුනු පලන් රජ දරුවෝ තෙසැට දෙනෙක් වූහ යි දතයුතු. මේ මහවස කෙළවරට අපබුදුන් පිරිනිවී අටසිය සුසාලිස් හවුරුදු නවමස් පස්විසි දවසක් ගියේ ය යි දතයුතු.

ඉක්බිත්තෙන් සුළු වංශයට ආදියෙහි මහසෙන් රජහු පිත් කිත්සිරිමෙවන් රජහු රජය ලත් නවවන්නෙහි දඹදිව කලිඟුරට දන්තපුරයෙහි ගුහසීව නම් රජහු දූ රන්මාලි නම් කුමරිය හා

දන්ත නම් රජකුමරුවා හා දෙ මහල්ලෝ වෙස් වළා බමුණු වෙස් ගෙන දළදා වඩා ගෙනවුත් ශ්‍රී ලඞ්කාද්වීපයට බැස රජහට දැක්වූහ. රජ දළදා දැක ප්‍රාතිහාර්‍ය්‍යයෙහි පැහැද එ කෙණෙහි මුළු ලක්දිව දන්තධාතුවට බුදුන් උදෙසා ම පූජා කොට, තුන්දා දොර වඩා අප්‍රමාණ වූ මහත් පූජා කොට අටවිසි හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු මල් දෙටතිස් රජ දළකඩ සඳුන්දඩු, කිරිසලයෙන් තමා සිය අතින් පිළිම නෙළා, මතු ලංකාවට ඇදුරු, කමට තබා, නටබුන් වෙහෙර හැම කරවා, ලෝවැඩ කොට නව හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය.

ඔහු පිත් බුජස් රජ ලක්දිව දස ගමකට වෙදකු නැකැත්තකු, බලිබතකු, බණ කියන පණ්ඩිතයෙකු බැගින් ඇති කරවා ලෝවැඩ කොට අනුරාධපුර නුවර මහවෙහෙර පස්විසි රියන් පස් මහල් පමණ ඇති නිල් බිත්ති, නිල් පදනම්, නිල් සෙවෙනි ආදීන් මයූරාකාර වූ මොනර පා නම් මහපායක් කරවා, සාංඝික කොට පිළිගන්වා සඟ පන්සියයකට නිති දන් දෙවා, ගොළගම්, මහණගම් දන්වරු පෙත් කරවා මේ මොනර පා පිරිවෙන ආදි වූ බොහෝ සඞ්ඝාරාම කරවා, බුදුබව පතා, එකුන්තිස් හවුරුද්දක් දැහැමෙන් රාජ්‍යය කෙළේය. ඔහු පිත් උපතිස්ස නම් රජ පලාවතු පිරිවෙන කරවා, තෝපා වැව බඳවා දෙසාලිස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු මල් මහානාම නම් රජ දෙවිසි හවුරුද්දක් රාජ්‍යය කෙළේය. එකල බුද්ධඝොෂ නම් අටුවා කර්‍තෘන් වහන්සේ දඹදිව සිට මේ ශ්‍රී ලඞ්කාද්වීපයට වැඩ, බුදුන් වදාළ දෙලක්‍ෂ පන්සැත්තෑදහස්දෙසිය පනස්ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇති ආගමයට, තුන් ලක්‍ෂ එක්සැට දහස් සත් සිය පනස් ග්‍රන්ථ සඞ්ඛ්‍යාවක් පමණ අටුවා කථා ලියා ආගමයෙහි පහන් නැඟුසේකැයි දතයුතු.

මේ මහානාම රජහු නො සමාන දරු වූ සෙන් ගොන් රජ පෙරවරු රජ ව, දාවල් සඟා රදුන් විසින් දුන් විෂ කා පස්වරු මෙළේ ය. සඟා රදුන් බිසෝ කොට ලැමැනි තිස් රජ හවුරුද්දක් රාජ්‍යය කෙළේය. ඔහු ඉක්බිති ව මිත්සෙන් නම් කරල් සොරෙක් රජය ලදින් දවසෙක දළදා වඳින්ට ගොස් නැවත රජගෙට එනුයේ දළදා ගෙයි දොර සිට “මඟුලැතු ගෙනැ”යි කීය. ඇමැතියෝ මඟුලැත් පසු වී ය, මඳක් බලව මහරජැ”යි කීහ. එ බසට රජ කිපී, උලින් සුන්නෙන් බැඳ නැගූ මහ ඇත් රුවක් බලා “තෝ මට පිට නො දෙයි දැ”යි කී ය. එ කෙණෙහි උළු ඇත් රජු කරා අවුදින් පිට හිඳුවා නුවර පැදකුණු කොට රජු ගෙයිලා ගියේය. මෙසේ වූ ආඥාවක් ගිය ජාතියෙහි සිත පහදවා පිදූ එක මලෙකින් ලදහ යි දත යුතු. මෙසේ ඒ කරල් සොර රජ හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. එ කල සොළී රටින් දෙමළු සදෙනෙක් බලසෙන් ගෙන ලක්දිව් බැස ඒ කරල් සොර රජහු මරා පිළිවෙළින් වෙන වෙනම සත්විසි හවුරුද්දක් රාජ්‍යය කළහ.

එ කල දාසෙන් කැලි නම් රජ කුමර සසුන් වැද මහණව, වෙස් වළා වැඩී, සිවුරු හැර මායා රට බලසෙන් ගෙන, නුවරට ගොස් පසු ව රජ කරන දෙමළා මරා රජ ව, කළාබළලු, කෙල වසා බදුලු, කළුන්නරු, දනා, වැල්ලා, උදන්මිටි, පණාගමු, මානා, මතුකිත්විනී, මහබඩරා, සංගමු, සුරුලුමහමිදලා, මහඑළි ආදී අටළොස් මහ වැව් බඳවා, අටළොස් මහා විහාරයක් කරවා, අටළොස් මහා පූජාවක් කොට, අටළොස් හවුරුද්දක් දැහැමෙන් රාජ්‍යය කෙළේ ය. ඔහු නො සමාන දරු සීගිරි කසුබු රජ පිය රජහු මරා, සීගිරි ගල කරවා, එහි වැස, අටළොස් හවුරුද්දක් අධර්‍මයෙන් රාජ්‍යය කොට කපක් කල් දුග් ගන්නා අවීචි මහා නරකයෙහි හින. එ ම දාසෙන් කැලි රජුහුගේ සමාන දරු වූ මුගලන් රජ සීගිරි රජුහුගේ භයින් දඹදිව් ගොස්, බලපිරිස් ගෙන ලක්දිව් බැස පියරජහු මැරූ සීගිරි කසුබු රජු මරා, අටළොස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් කුමර දස් රජ මහ පණ්ඩිත ව, නව හවුරුද්දක් රාජ්‍ය කොට කාලිදාස නම් යහලුවා මළ දා තෙමේ ද ගිනි වැද පරලොව ගිය ඔහු පිත් කීර්තිසේන නම් රජ ද නව හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු මරා ලැමැනි උපතිස් රජ එක් හවුරුදු දසමසක් රජය කෙළේ ය. ඔහු මයිල් මැදිසිවු රජ බෑනා මරා පස්විසි දවසක් රජය කෙළේ ය. ඔහු මරා ලැමැනි අඹ හෙරණ සලමෙවන් රජ තෙළෙස් හවුරුද්දක් රජය කෙළේ ය.

මේ රජහු දවස දාම් දා දඹදිවින් ආව යි දත යුතු. ඔහු පිත් දාපුළුසෙන් රජ සමයක් රජය කෙළේ ය. ඔහු මරා බෑන දළ මුගලන් නම් රජ විසි හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු පිත් කුඩා කිත්සිරිමෙවන් රජ එකුන් විසි හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු මරා ඔකාවසින් ආ සෙනෙවි මානා රජ තුන් හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු මරා ලැමැනි සිඟාන් සලදළනාවෝ නව හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු මරා මානා රජහු බෑන අග්බෝ මහරජ කුරුඳු වැව බඳවා මානාරද පිරිවෙණ කරවා සුතිස් හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු දවස දැහැමි මහතෙරහු සුතත් වදාළහ යි දත යුතු. දෑමි තෙමල්, බෑබිරි අනුරුත්, දළ ගොත් සූරියබාහු, පුරවඩු, දළ සල කුමර, කිත්සිරි, කසුබ් කොට ඈපා යයි යන මේ දොළොස් මහා කවී ම මෙම රජු දවස වූහ.

මොහු බෑන කුඩා අග්බෝ රජ ගඟතළා, ගිරිතළා, ගොවටු නෙරළු, මාටොඹු, සිරුවලා, සකැටිය, එඹෙරගලු, කළුන්නරු, මහ උදලු, කැන්ගමු, මාදෑත, කලම්වැව් ආදී වැව් තුදුසක් බඳවා ගඟවිට වෙළුන්නා වෙහෙර කරවා මහත් වූ පූජා කොට දස හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු මල් සඟතිස් රජ දෙමසක් රජය කෙළේ ය. ඔහු මරා ලැමැනි බෝනා මුගලන් සහවුරුද්දක් රජය කෙළේ ය. ඔහු මරා අසිග්ගාහක රජ නව හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු පිත් සිරිසඟබෝ රජ සොළොස් හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු පරදෙසට නෙරැ ලැමැනි කටුර දෙටතිස් රජ පස් මසක් රජය කෙළේ ය. නැවත සිරිසඟබෝ රජ පරදෙසින් බල පෙරළා ගෙන හැර දෙටතිස් මරා රජය ගත. ඔහු මරා ලමැනි දලුපතිස් රජ පළාවතු වෙහෙර කරවා පූජා කොට දොළොස් හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු මරා සිරිසඟබෝ රජහු මල් පැසුලු කසුබු රජ නව හවුරුද්දක් රජය කෙළේ ය.

නැවත ඔක්කාක වංශයෙන් ආ දාපලු නම් රජ රුහුණින් අවුදින් අනුරාධපුර නුවර හිඳ නැවත රුහුණු වෙහෙර පිළිම වෙහෙර, කීරොළ, බෙරගුල්, විඩුන්නා, කොටදොර, පවුරණ, සම්බෙගමු, පාඩික්කුලම, කසගලු, දළ කසුප් ගිරි, පෙහෙරගම්, කප් කඳුරු, කෙවිල්ලගම්, කුඹන, වෙරළුගිල්, පූල් කවුඩු, මහ දිවුළු වියල්, යන මේ එකුන් විස්සක් පමණ රජමහා විහාර කරවා තුන් හවුරුදු තුන්මසක් රජය කෙළේ ය. නැවත ලැමැනි දළුප තිස් නම් රජ කපාරා පිරිවෙන කරවා නව හවුරුද්දක් රජය කෙළේය. ඔහු බෑ සිරිසඟබෝ රජ පියන්ගල් පිරිවෙන කරවා, දෙව්නුවර කරවා, දෙවුරදුන්ගේ සහායෙන් සොළොස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය.

ඔහු ඉක්බිති ව ඔක්කාක වංශයෙන් ආ වල්පිටි වැසි දත්ත මහ රජ දැහවුරුදු සමසක් රජය කෙළේ ය. ඔහු ඉක්බිති ව හුනන්නරු රියන් දළ සමසක් රජය කෙළේ ය. පෙර කී පැසුළු කසුබු රජාණන් දරු මහලෑපාණෝ පර දෙසට ගොස් කාවට්ටි රටින් බලසෙන් ගෙන අවුත් හුනන්නරු රියන්දළු මරා, රජය ගෙන, උතුරළමුළ වාදූමුල කපුගම් පිරිවෙන්, දෙමටගල්, අළගිරි, සත්වැලිය උතුරු පිරිවෙන් කරවා, දෙව්නුවර කරවා, පන්තිස් හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු පිත් අග්බෝ රජ සහවුරුද්දක් රජය කෙළේ ය. ඔහු මල් කසුබු මහ රජ හෙළගම් පිරිවෙන කරවා සත්හවුරුද්දක් රජය කෙළේය. ඔහු මල් මිදෙල් රජ තුන් හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු බෑ දරු අග්බෝ රජ සතලිස් හවුරුද්දක් රජය කෙළේ ය. මිදෙලෑපාණන් දරු කුඩා අග්බෝ රජ සහවුරුද්දක් රජය කෙළේ ය. අග්බෝ රජුන් දරු සලමෙවන් මිහිඳු රජ බලාත්කාරයෙන් රජය ගෙන විසිහවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු ඉක්බිති උදා මහරජ පස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු ඉක්බිති ව හැළිඟැරවිල් හිස් කෑ සොමිහිඳු රජ සතර හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු ඉක්බිති අග්බෝ රජ එකොළොස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු මල් දාපුළු මහරජ මහබෝ ගෙය කරවා, රන් බුදුන් කරවා, මහත්වූ පූජා කොට සොළොස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු දරු අග්බෝ මහරජ පස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු මල් සෙන් මහරජ ගිරිගල මිණිමෙවුලැ පායද කරවා, දෙනා වෙහෙර මිණිපා පිරිවෙන කරවා, සඟරම් අරම් කරවා, සංසෙන් පිරිවෙන කරවා, මහත් වූ පූජා කොට විසිහවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. මොවුන් දවස ද අනුරාධපුර නුවර ජයබෙර මිණිපා ගෙන ගියහ.

ඔහු මල් මුගයින් වැසි සෙන් මහරජ ශ්‍රී ලංකාද්වීපයෙහි සිංහල බලසෙන් ගෙන දිව ගොස් පාද්ධිරජය පැහැර, පාද්ධින් ලුහු බඳවා ජයබෙර මිණිපා ගෙනවුත්, ලෝවා මහපාය කටු කොහොල් පෙරළවා, එහි රන් බුදුන් කරවා, තුන් නකය දහම් ගන්වා, ලෝසසුන් සෙමෙහි තබා, පන්තිස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු මල් උදා මහරජ රුහුණු රට මහතුඹරුප් වෙහෙර කරවා, රන් රිදී පතින් වසා, නො එක් පූජා කොට, එකොළොස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු ඉක්බිති කසුප් මහරජ තුන්නක ගෙයි සලපිළිමයට රන් සේසත් කරවා, බගිරි නකා මහසෑය බඳවා කුඩා කපාරා මහ කපාරා පිරිවෙන් කරවා, මහත් වූ පූජා කොට සතළොස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු ඉක්බිති කසුබු රජ දස හවුරුද්දක් රජය කෙළේ ය.

එ කල ඔහු නං සඟා රදූ නම් බිසෝ ලෝවා මහ පාය කටු කොහොල් පෙරළවා කොත් පැලඳවූහ. පසුව දාපුළු නම් කුමර සත් මසක් රජය කෙළේ ය. ඔහු මල් කුඩ දාපුළු නම් කුමර සොළි රටින් ආ දෙමළුන් මරා ලුහුබඳවා දොළොස් හවුරුද්දක් රජය කෙළේ ය. මොවුන් අයාමෙන් උදා මහරජ අට හවුරුද්දක් රජය කෙළේ ය. මොහු මල් සෙන් නම් රජ තුන් හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු ඉක්බිති උදා මහ රජ තුන් හවුරුද්දක් රජය කෙළේ ය. පසුව සෙන් නම් මහරජ නව හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු පිත් සෙන් නම් රජ තුන් හවුරුද්දක් රජය කෙළේ ය. ඔහු අයාමෙන් කුඩා මිහිදෙල් රජ සොළී රටින් හූරා තොටට බට දෙමළ රජකු හා මහසෙනඟක් සාදා, සොළොස් හවුරුද්දක් රජය කෙළේ ය.

ඔහු අයාමෙන් සලමේවන් රජ රජ ව මහ මලුන් මරවා, ඔහු බෑ සෙන්සෙනවි රදුන් දඹදිව ගොස් සයානූ දහසක් පමණ දෙමළ බල පිරිස් ගෙන, ලක්දිව් බැස ඔවුන් හා යුද්ධ කොට දස හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු මල් මිහිඳු රජ අටසාළිස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් වික්‍රමබාහු රජ පිය රජහු සමයෙහි ලක්දිවට බැස පුරා හුන් දෙමළ බල පිරිස් මරා, දියපිට නංවා රුහුණැ හිඳ, දොළොස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. පසුව මහලේ රජ තුන් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. පසුව වික්‍රම පාද්ධි නම් රජ තුන් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු ඉක්බිති ජගත්පාල නම් රජ සතර හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු අයාමෙන් පරාක්‍රම පාඬි නම් රජ හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. එ කල සොළී රටින් පසානූදහසක් දෙමළු නැවත ලක්දිව් බැස ලෝක ශාසන නැසූහ. එ කල ලෝකේශ්වර නම් සෙනෙවි ලක්දිව රජුන් නැත්තෙන් රුහුණැ හිඳ යුද්ධ කොට සහවුරුද්දක් රාජ්‍යය කෙළේ ය.

පෙර කී සලමෙවන් රජහට දෙවන දුරුතු පුර සැටවක පටන් ඒ ලෝකේ සෙනෙවියන්ගේ සහවුරුද්ද ඇතුළු ව සයානූ දහසක් පමණ සොළී රටින් ආ සොළීන්ට වසඟ වූ දෙමළුන් හිමිව තුබූ ලඞ්කාද්වීපයෙහි, මහලු විජයබාහු නම් රජ පැනනැඟී ලක්දිව හුන් දෙමළුන් මරා ලුහුබැඳ, තුන් රජය එකාතපත්‍ර කොට, මලුකම් කරවමි යි මුළු ලක්දිව ගණපූරණයට පමණ සිල්වත් භික්ෂූන් නැති හෙයින්, දෙමළුන් විසින් නච ශාසනයෙහි උපන් මහත් වූ, කරුණා ඇති ව, රජ වැලප, ලක්‍ෂගණන් මුතු මැණික් අරමණයට යවා, අරමණයෙන් සිල්වත් ස්ථවිරයන් විසිදෙනකු ගෙන්වා, ආගමය ද ගෙන්වා, මහලු කම් කරවා දහස් ගණන් භික්‍ෂූන් ඇති කරවා, ලක්දිව මුළුල්ලෙහි නටබුන් වෙහෙර සසුන් කරවා, අප්‍රමාණ වූ ශාසන වැඩ, ලෝවැඩ කොට, රාජනීතිය ලෝකනීති නො වරදවා, සූපනස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු මල් විජයබාහු රජ තුදුස් හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. ඔහු අයාමෙන් මහලු විජයබාහු පිත් වික්‍රමබාහු රජ අටවිසි හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. පසු ව කිත්සිරි මෙවන් රජහු පිත් පරාක්‍රමබාහු නම් මහලු මහ රජ තෙමේ වොටුනු පැලඳ රජතන් පත් ව, වළගම්බා රජයෙහි පටන් භින්න නිකාය ව තුබූ ශාසනය සමඟි කොට, පොළොන්නරුවේ සෑගිරියේ අට ආයතනට මහපාය කරවා මහපිළිම ගෙය, හොත් පිළිම ගෙය, රත්වත් සුළුවාදෙනි ගෙය, පැන් පැල් දොරටු දාගැබ් සීමා පවුරු කරවා, බොහෝ මහ සංඝයා වස් වස්වා හෙරණ පැවිදි මහලු පැවිදි කරවා, අට ආයතනයට ම පොළොන්නරු වරුපෙතින් වටනා පස ලවා, එහි ද මහදන් පවත්වා පූර්වාරාම දක්‍ෂිණාරාම, පශ්චිමාරාම, උත්තරාරාම, කපිල, ඉසිපතන, කුසිනාරා, වේළුවන, ලඞ්කාතිලකය, ත්‍රිවංකය, ඇතූබඳලෙන ආදිවූ මහා විහාර කරවා, එහි ද මහ දන් පවත්වා,

පොළොන්නරුවෙහි තුන් දහස් පන්සියක් පමණ මහ සඟනට නිති දන් පවත්වා, සොළීන් දවස බිඳි රුවන්මැලි මහසෑය, දෙනානකය, භගිරි නකය, ථූපාරාමය බඳවා, කොත් පළඳවා, අනුරාධපුර නුවර බොහෝ විහාර මුල්පිස කරවා, කටුකොහොල් පෙරළවා, සලපිළිම ගෙය ද කටුකොහොල් පෙරළවා ශ්‍රී මහා බොධීන් වහන්සේට බොධි ගෙය ද කරවා, ලෝවා මහපායට පටන් ගෙන භාගයක් කරවා, මහා සමුද්‍රය, බෑන සමුද්‍රය, බති සාගරය ඇතුමළ වැව කදුරුවඩුන්නා වැව පඬැ වැව යන මහ වැව් සයක් බඳවා අචිරවතී ඇළ බිඳුවා, “ලක්දිවට නො එක් වාරයෙහි බැස ලෝක ශාසනය නසන හෙයින් ඒ ඒ දේශවල මිථ්‍යාදෘෂ්ටි ගත් රජුන්ට උදහස් ව දඹදිව ද සාදා සම්‍යග්දෘෂ්ටි ගන්වමි”යි කියා, ලක්දිව මුළුල්ලෙහි සිංහල මහ සෙනඟ ගෙන දඹදිව් නික්මැ, මහ සඞ්ඝයා යා නො දෙන හෙයින්, තුමූ රඳා, සියයෙන් දසදෙනා බැගින් තෝරා, එක් විසි ලක්‍ෂ පස්විසි දහසක් පමණ සිංහල යෝධයන් දේශාන්තර යවා, සොළී පාද්ධි රජයෙහි පටන් අරමණය දක්වා යුද්ධ කරවා, ගිය ගිය තන්හි ජය ගන්වා, ප්‍රදේශවාසීන් සිංහලයට බස්නා තබා, තමන් තමන්ගේ දේශයෙහි භය ගෙන ගෙන ම හිඳිනා සේ, මෙසේ දඹදිවට ද අණසක පතුරුවා, හවුරුදු පතා මලුකමක්, දළදා පූජාවක්, තුලාභාරයක්, වෙසක් කෙළියක්, දිය කෙළියක් යනාදි වූ සුසැට මඟුල් කොට, දවස් පතා පෙත්තක්, පිළිමයක් සළු අට පිරිකරක්, බැගින් නො වරදවා දී තෙතිස් හවුරුද්දක් රාජ්‍යය කොට බුදුන් උදෙසා අප්‍රමාණ වූ පූජා කෙළේ ය.

පසු ව ඔහු බෑන පණ්ඩිත විජයබාහු රජ හවුරුද්දක් රාජ්‍යය කෙළේය. කෙළින් කෙස් දා හිමිඳා, දිපනා නම් එඬේර දුව නිසා ඔහු මරා, තෙමේ පස් දවසක් රාජ්‍යය කෙළේ ය. ඔහු මරා කාලිඞ්ගයෙන් ආ කීර්ති නිශ්ශංක නම් රජ පොළොන්නරුවෙහි රුවන්මැලි දාගබ බඳවා, කොත් පළඳවා, දළදා මළුවෙහි ශෛලමය දළදා ගෙය සැට පැයකින් කරවා නිමවා, එහි ම වටදා ගෙය කරවා, බලසෙන් සමඟින් සමනොළ ගොස් බුදුන්ගේ ශ්‍රීපාදය වැඳ, ලක්දිව වටා තමා නමින් අරම් අම්බලම් කරවා, දඹුලු වෙහෙර රන්පත් ගස්වා, තෙ සැත්තෑවක් මහ පිළිම රන් ගාවා නිමවා, රන්ගිරි දඹුල්ල ය යි නම් තබා, බොහෝ පින් රැස්කොට නව හවුරුද්දක් රජ කෙළේ ය. මොහු පිත් වීරබාහු රජ රෑ රජ ව අලුයම තාවුරු සෙනෙවිරත්හු විසින් මොහු නො සමාන දරුවහ යි මරවනලදු විය. පසුව වික්‍රම බාහු රජ තුන් අවුරුද්දක් ම රජය කෙළේ ය. ඔහු මරා නිස්සඞ්ක රජහු බෑන චෝඩගංග රජ නව මසක් රාජ්‍යය කෙළේ ය.

පසු ව කිත් සෙනවිරද් එ රජහු ඇස් උදුරුවා පහකොට මහලු පරාක්‍රමබාහු රජහු අගබිසෝ ලීලාවතී නම් බිසොවුන් ලවා තුන් හවුරුද්දක් රජය කැරවී ය. පසු ව ඔකාවසින් ආ සාහසමල්ල රජ දැහැවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. පසුව එළලු ආබෝ සෙනවිරද් එ රජහු පහකොට නිස්සඞ්ක මහරජහු අගබිසෝ කළ්‍යාණවතී නම් බිසොවුන් ලවා සහවුරුද්දක් රජය කැරවී ය. පසු ව ධර්මාශෝක නම් තුන්මැසි රජ කුමරුවෙක් හවුරුද්දක් රජය කෙළේ ය. පසු ව ඇනියඟ නම් රජ දඹදිවින් බල පෙරළා අවුත් ලක්දිව බැස, පොළොන්නරු ගෙන තම පුතු ධර්මාශෝක නම් රජකුමරු හා ඒ එළලු අක්බෝ සෙනවි රදුන් මරා තෙමේ සතළොස් දවසක් රජය කෙළේ ය. පසු ව මොහුගේ මැනික් නම් සෙනවිරද් ඔහු මරා පෙර රජ කළ ලීලාවතී නම් බිසොවුන් ලවා හවුරුද්දක් රජය කැරවී ය. පසු ව ලෝකේශ්වර නම් රජ පර දෙසින් දෙමළ පිරිස් ගෙන කඳවුරු ගෙන පස් මසක් රාජ්‍යය කෙළේ ය. පසු ව ලීලාවතී නම් බිසොවු සත් මසක් රජය කළා ය. ඔවුන් පහකොට පාද්ධි රටින් බලසෙනඟ ගෙන පරාක්‍රම පාද්ධි රජ තුන් හවුරුද්දක් රජය කෙළේ ය.

පසු ව ලංකාවාසීන්ගේ කිසියම් දරුණු වූ අකුශල කර්‍මයක් හේතුකොට ගෙන, ලක්දිව මහේශාක්‍ය ආරක්‍ෂක දෙවියන්ගේ කිසියම් උපේක්ෂාවක් විද්‍යාමාන වූ කල්හි, අබෞද්ධයන්ගේ උත්සන්නභාවයක් පහළවූ කල්හි, මාඝරාජ නම් කලිඟු රජ සූවිසි දහසක් මළල සෙනඟ ගෙන ලක්දිව් බැස, කඳවුරු නුවර ගෙන, පාද්ධි රජහු ඇස් උදුරුවා, ලෝකසාසනය නසා, රුවන්මැලි මහසෑය බිඳුවා, සෙසුත් දහස් ගණන් දාගබ් බිඳුවා, නො එක් ශ්‍රද්ධාවන්ත රජුන්ගේ චෛත්‍ය නැමැති කීර්ති ශරීරවල, කොත් නැමැති

වොටුනු හා රුවන් නමැති හෘද්මාංස ගෙන, ධාතු නමැති ජීවිත අන්තර්ධාන කරවා සංඝාරාම, ආයතැන්, මහපා, දෙමළුන්ට වාසස්ථාන කරවා, ලක්දිව කුලස්ත්‍රීන්ගේ ජාති සම්භේද කොට, කුලදරුවන් සීවැසි කරවා, සිරිලක මිථ්‍යාදෘෂ්ටි ගන්වා, සුඛිතයන්ගේ ධන විචාරයෙන් හස්ත පාදාදි ඡෙදනයෙන් විකාරයට පමුණුවා, ලඞ්කාද්වීපය ගිනි ගත් ගෙයක් සේ කරවා, ගම ගම දෙමළුන් ලවා කොල්ලකවා බලාත්කාරයෙන් එකුන් විසි හවුරුද්දක් රාජ්‍යය කෙළේය.

මෙසේ ලක්දිව නට කල්හි යට කී මහබෝ වඩා ආ සිරිසඟබෝ වංශයෙන් නො නැඟී ආ විජයබාහු නම් රජ මායා රජයෙහි හිඳ වැඩී, අන්‍ධකාරයෙහි තේජෝ කඳක් සේ පැනනැඟී, සිංහල බල පිරිසක් ගෙන දෙමළ භයින් ඒ ඒ තැන්හි මහ වන්නිවල වසන, බලි සිංහලයන් තමහට වසඟයන් ගෙන, අවසඟයන් සාදා, ගම ගම හුන් දෙමළුන් පොළොන්නරු මැ දක්වා මරා ලුහුබැඳ, මායා රජය තැන්කොට, එහි ජම්බුද්‍රොණී නම් පුරයක් කරවා, එහි හිඳ රජය කරන්නාහු, දෙමළ අරාජිතයෙහි පොළොන්නරුවෙන් දළදා–පාත්‍ර ධාතු ගෙන, මහ ගල් වල් නැඟි, එහිත් රැකලිය නො හැකි හෙයින් කොත්මලයෙහි භූමි නිධාන කොට, සොළී පාද්ධි රජහට පලාගිය මහාස්ථවිර ගණයා හා මහාසඞ්ඝයා මායා රජයට ගෙන්වා, දළදා-පාත්‍ර ධාතු නො නට පවත් අසා, අතිසන්තොෂ ව එ කෙණෙහි ම ස්ථවිර ගණයා හා මහසෙනග ගෙන මහත් වූ පූජා උත්සවයෙන් කොත්මලයට ගොස්, දළදා–පාත්‍ර ධාතු ගෙන, සත්රුවන් මිණිරුවන් ලදුවා සේ උදාරවූ සන්තෝෂයෙන්, ගම ගම මහත්වූ පූජාකරමින්, වඩාගෙනවුත්,

චූල වංශයේ රජුන් කළ පූජා

“මතු අරාජිතයෙක පරසතුරන්ගෙන් පීඩාවක් නො වන සේ දළදා ස්වාමීන්ට ක්‍ෂේමස්ථානයක් කරවමි”යි සිතා බෙලිගල සිසාරා පවුරුපදනම් වාසලින් සුරක්ෂිතකොට ආකාශයෙන් විනා මනුෂ්‍යකෙනකුන් වැද්ද නොහැකි සේ ඉතා ක්‍ෂේම කොට, පර්වත මුදුනෙහි දෙව්ලොවින් බට වීමානයක් සේ අසමානවූ දළදාගෙයක් නංවා සිසාරා රත්පත්, සුළුපා, මහපා, චංක්‍රමණ, මණ්ඩප, පැන් පොකුණු ආදි වූ සංඝාරාමයන් කරවා, මහත් වූ මඞ්ගල්‍යයෙන් දළදා ස්වාමීන් එ ගෙට වඩා, දන්තධාතු ආරක්‍ෂාවෙහි නියුක්ත වූ ස්ථවිරගණයාට සංඝාරාමය පිළිගන්වා, දානවෘත්ති නංවා දවස් පතා පූජා පෙරහර කරන සේ ව්‍යවස්ථා කොට රජගෙන්- බුදුන්ගෙන් සම සමයෙහි රකවල් ලවා, අප්‍රමාණ වූ පූජා කළහ.

දෙවනුව ශාසනෝපකාරයට පටන් ගෙන, ලක්දිව පොත්පත් දෙමළුන් නැසූ හෙයින්, සංඝයාගේ අකුරු පමා පමා සේ අසා බුදුන්ගේ සුවාසූදහසක් ධර්‍මස්කන්ධයට සුවාසූදහසක් මසුරන් පුදා, ගම ගම කුලියට පොත් ලියන සේ නියෝග කොට, ලක්දිව මහාසංඝයා රැස්කොට බොහෝ දවසක් අසමඟ වූ සංඝයා සමඟකොට, මලුකම් කරවා, මහත් වූ පූජා කොට තුන් රජයෙහි සියලු සංඝයාට නො වරදවා අටපිරිකර දී, සද්දවසක් මලුකම් පූජා කොට, තව ද, තමන්ගේ නමින් විජයසුන්‍දරාරාම නම් වූ ආරාමයක් කරවා, සාංඝික කොට පිළිගන්වා, මහත්වූ පූජා කොට, “අකුරු කරන සංඝයා ප්‍රත්‍යයක් නිසා දුක් නො ගන්නේ ය, මා ගෙදොරට ම සිඟා වඩනේය” යි ආරාධනා කරමින් වැඩි වැඩි දහස් ගණන් සංඝයාට දවස් පතා දොර දන් දී, ස්ථවිරාදි මහා ස්ථවිරාදි ස්ථානාන්තරප්‍රාප්තතෙනට දවස් පතා දන් වසුන් තබා දී, බොහෝ සංඝයා අකුරු කරවා ශාසන සංග්‍රහයෙන් තුණුරුවන් පිදූහ.

තව ද: වත්තල තමන් නමින් විජයබාහු නම් රජ මහා විහාරයක් කරවා පිළිගන්වා, කැළණි වෙහෙර දෙමළුන් විසින් නට මහසෑය බඳවා, කොත් පලඳවා, එහි ම වූ පූ‍ර්‍ව වාසල මුල්පිස කරවා, සෙසු ජරාවාස කටුකොහොල් පෙරළවා, එසේ ම මායා රජයෙහි සියලු ජරා අවස් පෙර තිබූ පනතින්ම නව කර්‍මාන්ත කරනසේ නියෝග කොට; තව ද; තමන් ලෝකශාසන ප්‍රතිෂ්ඨාවෙහි මහත් වූ අභිලාෂ ඇත ද, ගිය යොවුන් කාලයෙහි රජය ලත් හෙයින් ද්‍රවිඩ යුද්ධ කොට, ලඞ්කාව තනා, නටබුන් වෙහෙර කරවා ලෝවැඩ කිරීමට කල් මඳ සේ දැන, තමන්ගේ අතිජාත පුත්‍ර වූ පරාක්‍රමබාහු-භුවනෙකබාහු නම් ඈපාවරුන් දෙදෙනාගේ ලක්‍ෂණ බලවා, පරාක්‍රම බාහු නම් මහලු පිත් කුමරහු මතු මුළු ලක්දිව පරසතුරන් මැඩ ලෝකශාසන පිහිටුවා, දඹදිව ද කීර්ති පතුරුවා, නො එක් දේශයෙන් බිසෝවරුන් ආදි අනැගි අනැගි පාක්කුඩම් ගෙන්වා, දීපච්චක්‍රවර්ති ව රජය කරන පින් ලකුණු ඇති සේ අසා;

රජපා සතුටු ව, සතුටු කඳුළෙන් නුවන් තෙමා, කුමරහු ඇකයෙහි හිඳුවා, සිඹ සනහා දෙදෙනා ම මතු ඔවුනොවුන්ට පෙම් සහිත ව වසන සේ, මල් රජහු බෑ රජහට සුවච ව වසන සේ, ද්‍රවිඩයන්ගේ බල මහත් හෙයින් ද්‍රවිඩ සංග්‍රාමයට උත්සාහ නොකරන සේ, සලගල කඳුරු පැන නොයන සේ, සම්පත් මදයෙන් මත් නොවන සේ, ක්‍රෝධයෙන් ජය නොගන්නා සේ, මෛත්‍රී බලයෙන් ම ජය ගන්නා සේ, අනර්ථයෙහි ප්‍රාණයක් නො නසන සේ කාවන් තිස් රජහු දුටුගැමුණු-සැදෑතිස් දෙදෙනාහට කී සෙයින් පෙම් සහිත වූ නො එක් ඔවා තෙපුල් දී, ධර්‍මනීති, ලොකනීති, රාජනීති, අක්‍ෂර ලිඛිතාදි නො එක් සිවුසැට කලා ශිල්පයෙහි දක්‍ෂ කරවා, පරාක්‍රම බාහු නම් ජ්‍යෙෂ්ඨ ඈපාණන් සංඝරක්ෂිත නම් මාහිමියන් ආදිවූ මහ සංඝයා කරා ගෙන ගොස්, ඔවුන් මහාසංඝයාට පාවාදී, මහසංඝයා හා දළදා-පාත්‍ර ධාතුව හා රාජ්‍ය වාසීන් ඔවුන්ට මතු ලෝකශාසන රක්‍ෂාවෙහි අප්‍රමාද වන සේ කියා මෙසේ ලඞ්කා නමැති කෙත්හි රජබිජු පිහිටුවා, ලෝක-ශාසනයට තමන් බලානුරූපයෙන් වැඩ කොට සතර හවුරුද්දක් රාජ්‍යය කොට කීර්ති පුඤ්ජාවස්ථානය කළහ.

ඉක්බිත්තෙන් පියරජහු අයාමෙන් පරාක්‍රම බාහු රජ පැන නැඟී සියලු සිංහල සෙන් රැස් කොට නුවර දෙව්පුරයක් සේ සරහා පළමු වන අභිෂේක මඞ්ගල්‍යය කොට, මල් රජහට යුවරජ–මහාපා තනතුරු දී පියරජහු තුබූ ලෙස ම දානවෘත්තිය පවත්වන සේ නියොග කොට, ලක්දිව හුන් පර සතුරන් සාදා ලුහුබැඳ ලඞ්කා නමැති අඞ්ගනාව අනිකක්හට නො හරිම් ම ය, මට ම පතිනි කරවම් ම යයි මහත් වූ රාජාභිමාන කොට, “පළමු ව දළදා ස්වාමීන්ට සත්කාරයක් කොට, පසු ව ද්‍රවිඩ යුද්ධ කරමි”යි සිතා දළදා ස්වාමින් මහත් වූ උත්සවයෙන් ජඹුද්‍රොණි නම් පුරයට ගෙන්වා, එහි තමන්ගේ රජගෙට නුදුරු තැන සිතු සිතු විට ගොස් තුන් වේලෙහි වඳිනා සේ අනැඟි වූ දළදා ගෙයක් නංවා ඒ මධ්‍යයෙහි අනැඟි වූ ආස්තරයෙන් ආසනයක් තනවා, දළදා ස්වාමීන් වැඩහිඳිනා මිණිරුවන වසා සිටිනා සේ අනැඟි වූ රුවනින් අතුරු නැති විසිතුරු වූ රුවන් කරඬුවක් කරවා, ඒ වසා සිටිනා සේ පන්දහසක් ඝනරන් ගෙන පස්දිසි ලක්‍ෂයක් අගනා ඝනරන් කරඬුවක් කරවා, ඒ වසා සිටිනා සේ පස්විසි දහසක් රිදීයෙන් පස් ලක්‍ෂයක් ම අගනා රිදී කරඬුවක් කරවා, දළදා ගෙය පටන් මුළුනුවර අලංකෘත කොට සරහා නිමවා, දළදා ස්වාමින්ට මහත් වූ උත්සවයෙන් පූජා කොට මහසඟ මැද දළදා ස්වාමින් තමන් අත්ලට වඩාගෙන සත්‍යක්‍රියා කරන්නාහු;

අප බුදුහු තුන් වාරයක් ලක්දිව් වැඩ තුදුස් තෙනක් පාරිභෝගික කොට අරක් දී වැඩියාහු ය, එසේ හෙයින් මේ ලක්දිව නම් මිථ්‍යා දෘෂ්ටි ගත් රජුන්ට ම නො සීහෙනු එකාන්ත ධර්මයෙක සම්‍යක් දෘෂ්ටිගත් රජුන්ට ම සීහෙනු ද එකාන්ත ධර්මයෙක එසේ හෙයින් පෙර මහා වංශයෙහි පළමු වන වාරයෙහි බැස ලෝ සසුන් නසා දෙවිසි හවුරුද්දක් රාජ්‍යය කළා වූ ආශ්වාචාරී දෙමළුන් අසේල නම් සිංහලාධිපති රජෙක් ම සාදා ලෝක ශාසනයට වැඩ කෙළේ ය. දෙවන වාරයෙහි බැස සුසාලිස් හවුරුද්දක් රජය කළා වූ එළාල දෙමලුන්, දුෂ්ටගාමිනී නම් සිංහලාධිපති රජෙක් ම සාදා ලෝ වැඩ කෙළේ ය. තව ද: තුන්වන වාරයෙහි බැස තුදුස් හවුරුදු සත් මසක් වාසය කළා වූ පඤ්ච ද්‍රවිඩයන්, වළගම් අබා නම් ශ්‍රීලංකාධිපතියෙක් ම සාදා ලක්දිවට වැඩ කෙළේ ය.

සුළු වංශයෙහි සතර වන වාරයෙහි බැස සත් විසි හවුරුද්දක් රජය කළා වූ සරජ ද්‍රවිඩයන්, දාසෙන් කැලි නම් ශ්‍රී ලංකාධිපති රජෙක් ම සාධා ලෝ වැඩ කෙළේ ය. තව ද පස් වන වාරයෙහි බැස සයාසු හවුරුද්දක් වාසය කළා වූ සයානූදහසක් පමණ මහ සොළී දෙමළුන්, මහලු විජය බාහු නම් ලංකාධිපති රජෙක්ම සාදා ලෝ සසුන් රක්‍ෂා කෙළේය. දැන් මේ සවන වාරයෙහි බැස වෙහෙර සසුන් නසා පිහිටි රජය මුළුල්ලෙහි බලාත්කාරයෙන් ගෙන හිඳිනා මාඝරාජ ය, ජයබාහුය යන ද්‍රවිඩ රාජයන් දෙදෙනාගේ දෙමළුන් මම ද සාදා ලක්දිව ලෝක ශාසන දෙකට වැඩක් කරනු කැමැත්තෙමි, එයිදු සබා ම ය.

තව ද කොසොල් රජ්ජුරුවන්-බිම්සාර රජ්ජුරුවන් තමන් ජීවමාන බුදුන් සමයෙහි උපන් හෙයින් බුදුන්ගේ නො එක් පෙළහර හා දේශනාවන් අසා දැක තමන් තමන්ගේ ජීවිතවල ඵල ලදහ. ධර්මාශෝක දෙවන පෑතිස් දුෂ්ට ගාමීනී ආදී වූ බුදුන් අජීවමාන කාලයෙහි උපන් රජදරුවෝ ද, තමනු දු මහ පින්බල ඇති හෙයින් නිර්මිත බුද්ධරූප හා පෙළහර දැක නො එක් පින් රැස් කළහ. බුදුන්ගේ අජීවමාන පෙළහරෙක් නම් අධිෂ්ඨානයක් ඇතිව ම වන බවක් මිස, නිකම් වන පෙළහරෙක් නැත; අප බුදුන් පරිනිර්‍වාණ මඤ්චකයෙහි වැදහෙව පඤ්ච මහා අධිෂ්ඨානයක් කළ සේක. මේ ලෝකයෙහි මහා ශබ්දයෙක් නම් එ බඳු වූ කුඩා වස්තුවක් නො හඟවා ම ය; මහා අධිෂ්ඨාන ශබ්දයෙන් උපන් සූක්‍ෂම වූ අධිෂ්ඨානත් ඇතිවනු එකාන්ත ම ය. මේ ආදී කාරණයෙන් පන්දහසක් හවුරුදු පවත්නා තමන් වහන්සේගේ ශාසනයෙහි මතුවන ශ්‍රද්ධාවන්තයන් බලන්නා වූ බුදුහු මාත් නුදුටු සේක් දෝ හෝයි නොසිතමි. බුදුහු මාත් දැක වදාළසේක් වී නම් බුදුන් කළ සූක්‍ෂම වූ අධිෂ්ඨානත් ඇත් නම්, මම ද පෙර ලක්දිව වැඩ කළ වීරරජුන් කෙරෙහි ඇතුළත්වීම් නම්, පරසතුරන් සාදා ලක්දිව හෙලි කෙරෙම් නම්, මා නිසා ලෝක-ශාසනයට වැඩෙක් වේ නම් දැන් මට ද කිසියම් පෙළහරක් පෑ වදාළසේක් වී නම් යෙහෙකැ”යි සිත සිතා බලබලා සිටියාහ.

එ කෙණෙහි පියුම් ගබ පල රාජහංස ලීලාවෙන් රජහුගේ කර තලාමල පද්මයෙහි ලීලොපෙත ව වැඩහුන් දළදා ස්වාමි, රජු හෙළූ ඇසපිය ඔසවා නො ලන ඇසිල්ලෙහි ආකාශයට පැන නැඟී ජීවමාන බුද්ධරූපය මවා, සියලඟින් සවනක් රස් විහිදා, මුළු නුවර ඒකාලෝක කොට, කිසි යම් පෙළහරකින් රජහු සන්තෝෂ කරවා ආකාශයෙන් බැස නැවත හස්ත තලයෙහි පෙනී ගිය සේක.

ඒ පෙළහර දුටු මහ සඟ පිරිස දුන් සාධුකාරයෙන් හා මහ පිරිස දුන් ස්තුති ඝෝෂාවෙන් මුළු නුවර එක කෝලාහල විය. එ වේලෙහි රජ්ජුරුවෝ “මම ද ජීවිතයෙහි ඵල ලදිම් ම ය. මහපින් රජුන් කෙරෙහි ඇතුළත් වීම් ම ය”යි පස්වනක් ප්‍රීතින් පිනා එම මොහොත ම දළදා ස්වාමින් තුන් කරඬුයෙන් දළදා ගෙට වඩා සක් රුවනක් ලද සක්විති රජකු සේ පින පිනා නො එක් රත්නාභරණයෙනු දු පුදා, තව ද: වඩ වඩා සද්දවසක් මහ පූජා කළාහ. එයින් කීහ.

ලඞ්කාධිනාථකරපඞ්කජරාජහංසී

නිම්මාය සා දසනධාතු මුනින්‍දරූපං

නෙකෙහි රංසිවිසරෙහි සමුල්ලසන්තී

සබ්බා දිසා ච විදිසා සමලඞ්කරිත්‍ථ

දිස්වා තමමහත මතීව පසන්නචිත්තො

සම්පත්තයක්කරතනො විය චක්කවත්ති,

සෙට්ඨෙ හි නෙක රතනාභරණාදිකෙහි

පූජෙසි ධාතුමස්මිං මනුජාධිනාථො–යි.

එ තැන් පටන් රජහුගේ මහත් වූ පින් බෙලෙන් හා ශ්‍රද්ධා බෙලෙන් හා තුනුරුවන් බෙලෙන් සියලු ලංකාවාසීහු රජහු කෙරෙහි හය ගෙන වසන්නාහු ආඥාචක්‍ර මඩනට අසමර්ථය හ. නා නා දේශවාසී රජදරුවෝ ද ඒ රජහට නො එක් පඬුරු එවන්නාහ. එ කල තමන්ගේ ආඥා පින් බෙලෙන් හා මල් යුව රජහුගේ මන්ත්‍රී බෙලෙන් ලංකාවෙහි පරසතුරන් සාදන්නාහු දිවි නැසුව මනා වරදෙහි දඟගෙයි ලවමින්, දඟගෙයි ලුව මනා වරදෙහි කිසියම් නිග්‍රහයක් කරවමින්, රටින් නෙරපුව මනා වරදෙහි දඩ ගනිමින්, දහස් ගණන් දඩගත මනා වරදෙහි උදහස් පමණෙකින් හරිමින්, නො එක් යුද්ධ කරන්නාහු පියරජහු දවස සාදා ගත නුහුණු සිංහල මහවන්නීන් තමන් හුන් පොළ හිද ම සාදා, නො එක් රටවල් ගෙන, ලක්දිව සිංහල බලයෙන් තමන් කරා ම රැස්කොට, දෙවනු ව ද්‍රවිඩ යුද්ධයට පටන්ගෙන, ඒ ඒ දිගින් සිංහල මහසෙන් මෙහෙයා දෙමළුන්ට නො එක් ගැහැටුම් කරන්නට පටන් ගත්හ.

එ කල පොළොන්නරු, කොටසර, ගඟතලා, කවුඩාලු, කුරුඳු පදී, මාන මතු, මාවටු, මන්නාරා, පුලච්චේරි, ගෝනා, දෙබ, පටන්, හූරාතොට, වැලිගමු, ගොවුසු, මීපාතොට ආදි තැන්හී කඳවුරු බැඳහුන් අතුරු නොදී සතුරුව, සතලිස් හවුරුද්දක් බලාත්කාරයෙන් වාසය කළා වූ මාඝරාජ–ජයබාහු නම් දෙමළු රජුන් දෙදෙනාගේ සතළිස් දහසක් පමණ ඇති දෙමළ මළල මහ සෙනඟ ඒ ඒ තැන්හි රඳාලිය නොහී පොළොන්නරු නුවර ම රැස්ව ඔවුනොවුන් හා මන්ත්‍රණය කරන්නාහු “පරාක්‍රම බාහු රජහුගේ ආඥා පින් බල මහත. පරදේශයෙහි රජදරුවෝ ද ඕ හට ම වසඟයහ, සිංහලයෝ හැම දෙන ම ඔහු කරා ම රැස්වූහ, අපගේ ද්‍රවිඩයෝ ද සම භාගයෙක් ඕහට ම වසඟයහ, ඔහු ගේ අභිෂේකයෙහි පටන් හිරු දුටු කදෝකිමියන් සේ නිෂ්ප්‍රභා වූම්හ, එන දවස සිංහලයෙහි රඳාලීමක් බැරි ය, මෙහි නො රඳා රට යම්හ”යි කියා ඇත්, අස්, මුතු, මැණික්, රජ වොටුනු, බිසෝවරුන් ආදී වූ සිංහලයට හිමි අනැඟි අනැඟි වූ කෙළගණන් රුවන්ගෙන “රට යම්හ”යි නික්ම රජහුගේ මහ පින් බලයෙන් සිතූ අත යා නොහී “මාසෙන් ගමුයෙහි සුංගම් බැලූහ”යි යන ව්‍යවහාරය සේ කඳවුරෙහි පූර්‍ව වාසල යයි, පශ්චිම වාසලින් නික්ම ගොස් රටමැද වැද මහකැලෑවල දී රජහුගෙන් ගිය සිංහල මහ සෙනඟට හසු ව, ඉතා මහත් වූ විපත්තියට පැමිණ සම්පත්තිය ද පාවාදී, ජීවිතය ද දී, මූලොච්ඡින්න ව හිස දී, රජහු ගේ චිත්තාර්ථය ද සාදා දුන්හ. උමංදායෙහි එක් සියක් රජුන් හැර ගිය සම්පත් නිසා මියුළු නුවර වාසීන් සුඛිත වූවා සේ එ තැන්හි ලද සැපතෙහි පටන් සිංහලයෝ ධනේශ්වර වූහ.

මෙසේ ලක්දිව පරසතුරන් සාදා රට සමෘද්ධ කරවමින් සිටි කල්හි නැවත තමන්ට එකොළොස් වන්නෙහි බෞද්ධයම්හ යි මායම් කියා ලක්‍ෂ ගණන් නච්චම්බු නම් වූ විෂ කොහොල් ගෙන සර්පසෙනාවක් සේ ඒ ඒ තොටින් බැස ලක්දිව ගලා ගෙන “ගිනිසෙණ ගැසු මඟ දියසෙණ ගැසුවා සේ,” ලක්දිව නැවත නසන්ට පටන් ගත් චන්‍ද්‍රබානු නම් රජහු හා ජාවක මහ සෙනඟ ද, අසුර යුද්ධ කරන්නා සේ, නො එක් යුද්ධ කරවා මරා, ලුහුබැඳ, මෙසේ මළල යුද්ධය, ද්‍රවිඩ යුද්ධය, ජාවක යුද්ධ ය, යනාදි නොඑක් යුද්ධයෙහි, මෙසේ සිරිලක පරසතුරන් ජය ගෙන, එකාතපත්‍ර කොට, දෙමළුන් විසින් නැසූ ලක්දිව පමුණු පරපුරා ව්‍යවස්ථාවට තාපස ගණතැන්, පුගුල්තැන්, ආයතැන්, පිරිවෙන් තැන්, දස මේ තැන් පෙර සේ ම ව්‍යවස්ථා කරවා පළමු කොට රට බතින් සමෘද්ධ කරවා, දිළිඳු ව ගිය ලඞ්කාවාසීන් තමන් තමන්ගේ ධන ධාන්‍ය මෙතෙකැ යි නොදන්නා සේ ශ්‍රීවන්ත කරවා, දෙවනු ව ශාසනෝපකාරයට පටන් ගෙන, අරාජිතයෙහි බොහෝ කලක් ස්වච්ඡන්‍දචාරීව විසූ අලජ්ජි පුද්ගලයන් තෝරා ශාසනය පරිශුද්ධ කරවා, නැවත සොළී රජයට නො එක් පඬුරු පාක්කුඩම් යවා, එහි වසන භික්ෂූන් සිංහලයට ගෙන්වා උභය ශාසනය ම සමඟ කළහ.

තව ද තමලිංගමුයෙහි වසන දොළොස් දහසක් භික්‍ෂූන් අතුරෙන් ධර්‍මකීර්ති නම් මහාස්ථවිරයන් සිඟා යන පෙරමඟ පියුම් පැනනැංගහ යි අසා දළදා වැඩු ගඳ කලල් ආදි දහම් පඬුරු, රජ පඬුරු තමලිංගමු යවා ඔවුන් සිංහලයට වඩා ගෙන්වා බුදුන් රහතුන් දුටුවා සේ, මහත් වූ සත්කාර කොට, ඔවුන් දිවි පමණින් මහත් වූ ප්‍රත්‍යය දානය දී මහ පින් රැස් කළ හ.

මෙසේ තමන් සමඟ කැරවූ ශාසනය රක්‍ෂා කරන්නාහු අට ආයතන් මහාස්ථවිර ග්‍රාමවාස ආරණ්‍යවාසාදි සියලු ස්ථවිර ගණයාට පුරය සිසාරා, රත්වත් සූළුපා මහපා චංක්‍රමණ රාත්‍රිස්ථාන දිවාස්ථාන මණ්ඩප පැන් පොකුණු පුෂ්පාරාමඵලාරාමාදී නො එක් සඞ්ඝාරාම කරවා නො එක් සත්කාර කළ හ.

තව ද ගම වෙනහි මහා සඞ්ඝයා රැස්කරවා තෙරස ධුත ගුණාදී රූක්‍ෂ ප්‍රතිපත්ති පූරණයට ආත්මක්‍ෂම වූ ප්‍රතිපත්ති සාර භික්ෂුන් ගිවිස්වා තෝරාගෙන පලාබත්ගල් පායෙහි වල් වාසයක් කරවා, එහි වස්වා, සිරිලක තමන් සමයෙහි අරහන්තයන් පහළවූවා සේ, සිවුපස දානයන් දී අප්‍රමාණ වූ ප්‍රතිපත්ති පූජා කළහ.

තව ද: ලක්දිව ආගම ධර ස්ථවිරයන් එ වකට මඳ ව ගිය හෙයිනුත්, පත් පොත්, නිමවා නැති හෙයිනුත්, දඹදිවින් පොත් ගෙන්වා සියගණන් ස්ථවිරයන් ආගම ධර කරවා, බුදුන්ට පර්‍ය්‍යාප්ති පූජා කැරවූහ. තව ද: තමන්ගේ භුවනෙක බාහු නම් මල් යුවරජහු විනය ධර කරවා, ඔහු ලවා අසන තැන් කියවා, නො එක් භික්‍ෂූන්ට සම්මුති දෙවා, ස්ථවිර පූජා කැරවූහ.

තව ද: තමන් ජාත වූ ශ්‍රී වර්ධන නම් නුවර ප්‍රාසාද චංක්‍රමණ මණ්ඩප ප්‍රතිමා ගෘහ චෛත්‍යංගණ, බොද්ධ්‍යඞ්ගන, පවුරු වාසල් ආදී නානාවිධ කර්මාන්තයෙන් අලඞ්කෘත වූ, රජමහ විහාරයක් කරවා, තමන් වසන ජම්බුද්‍රොණි නම් පුරයෙහි පටන් ඒ පුරය දක්වා, දිගින් අඩයොදනක් හා පුළුලින් ඉස්බක් පමණ තැන් භෙරිතලයක් සේ සම කරවා, පස්රියනකට රජ තොරනක් හා දස රියනකට පිළී තොරණක් හා සියක් රියනකට තුන් මහල් පිළී මාලිගා බැගින් නිමවා, මඟ සුදු වැල්ලෙන් තවරා, දෙපස ධ්වඡ පුන්කලස් තනා, වෙහෙර පවුර සිසාරා, බුද්ධ පූජාවට ආ මේඝ රාජයාගේ ඉන්‍ද්‍රචාප සහස්‍රයන් බඳු වූ, විචිත්‍ර චිත්‍ර කර්මාන්තයෙන් හොබනා මහත් වූ තොරණ සහස්‍රයෙන් හා බුදුන් පුදම්හ යි නානා ලෝකයෙහි ඒ ඒ දිගින් දිවූ චන්‍ද්‍රවිමානයන් බඳු වූ, අසමාන වූ, ශ්වේතච්ඡත්‍ර සමූහයෙන් හා තරුපෙළ සේ දිලියෙන රන්කොත්, රිදී කොත් සහස්‍රයෙන් හා බුද්ධපූජාවට දිව අවුත් ආකාශයෙහි සිට නටන දිව්‍ය සමූහයන් සේ, ඒ ඒ දිගින් නඟන ලද පඤ්චවර්ණ ධ්වඡ මාලා සහස්‍රයෙන් හා පූජා ලෝභයෙන් දෙවියන් විමන් හා සමඟ ආකාශයෙන් බැස, වෙහෙර සිසාරා අතුරු නොදී සිටගත්තා සේ නානාලඞ්කාරයෙන් සදා වෙහෙර සිසාර පෙළ පෙළ දී තබන ලද රත්න මණ්ඩප පඞ්ක්තීන් හා බුදුන්ගේ මහා මංගල්‍යයෙහි අජීවමාන වස්තූන් ජීවමාන වූ නියාවට කාරණ දක්වන්නාසේ සේසත් අතින් ගෙන, පෙළ පෙළ දී නටා යන බඹරු පෙළින් හා දොහොත් මුදුන් දිදී ඇවිදිනා නනා වර්ණ දිව්‍ය රූප පංක්තීන් හා,

එ දවස් මෙඝරාජයන් හස්තිරූප ව්‍යාජයෙන් බුදු මඟුලට බැස මිහි මඬලෙහි ඇවිදිනා සේ, ඒ ඒ දිග්හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හස්තිරූප පඞ්ක්තීන් හා, පූජා ලොලින් දිවූ සමුද්‍ර රාජයාගේ මහ රළ පෙළ සේ, ඒ ඒ දිග්හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්ව රූප පඞක්තීන් හා බුදුන්ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර සරහා සහස්-සුවහස් ගණන් සඞ්ඝයා හා, මුළු ලක්දිව සියලු මනුෂ්‍ය සේනා රැස්කොට වෙහෙර සිසාරා, ගවු ගවු මානයෙහි පූජා පෙළහරින් සිටගත් මනුෂ්‍ය සේනාව ම අතුරු නො සිටිනා සේ, නියෝග කොට,

තුමු සර්වාභරණයෙන් සැරහී සිවුරඟ සෙන් ගෙන දළදා පාත්‍ර ධාතු රත්න කර්‍මාන්තයෙන් ම හෙබියා වූ අනැඟි වූ රථාලඞ්කාරයකට වඩා මඟුලැතුන් දෙදෙනෙක් හට යොදා, රන් ධ්වඡ–රිදී ධ්වඡ–රන් පැන-රිදී පැන-රන් කලස–රිදී කලස–රන් කරඬු-රිදී කරඬු-රන් විසිරි–රිදී විසිරි–රන් චාමර–රිදී චාමර–රන් පතැස් රිදී පතැස් යනාදී වූ රජ පෙරහරින් ඒ මාර්‍ගය අතුරු නොදී පෙළ පෙළ දී නික්මවා, තුමු පසු ව ඇත් අස් රථ පාබල පිරිසින් මග මේ ගිගුමෙන් උද්දාම වූ සමුද්‍රයක් සේ, පඤ්චාගික තූර්‍ය්‍ය නාදයෙන් මහ පූජා කරවමින්, ක්‍රමයෙන් ඒ පුරයට වඩා ගෙන ගොස් වෙහෙර මැද මහා මණ්ඩපයෙහි අනැගි වූ බුද්ධාසනයකට වඩා,

පෙරවරු ඒ මණ්ඩපය පුරා, පුදන ලද යාලගණන් සුගන්‍ධසාලී භෝජනය හා නා නා ජාතියෙහි පූජා පූප වර්‍ගයෙන් හා, පින් සොඬ වූ ජනයන් විසින් වස්වන ලද නාග චම්පකාදී සුවඳ මල් වර්ෂාවෙන් හා සියලු සංඝයාට දෙනලද දානප්‍රවාහයෙන් හා තුන්යම් රාත්‍රියෙහි වෙහෙර සිසාරා තරු කැලයෙන් සුප්‍රසන්න වූ ආකාශයක් සේ පුදනලද ප්‍රදීප සහස්‍රයෙන් හා ඒ ඒ තැන්හි රඟමඬුලු බැඳ නටන ලද නළු පිරිසින් හා, බුදුන්ගේ ස්තුති ගී කිය කියා ඒ ඒ දිග්හි සිට බුද්ධ පූජා ශාන්ති කරන බලි භෝජක මණ්ඩල පඞ්ක්තීන් හා, ඒ ඒ තැන්හි ධර්‍මාසන නංවා කියවා දෙවන ලද ධර්‍මදානයෙන් හා තුඩ තුඩ “අහෝ! බුද්ධෝ, අහෝ! බුද්ධෝ”යි කියන ලද සාධුනාද සහස්‍රයෙන් හා ඒ ඒ තැන්හි අතෝනා ලද පඤ්චාංගික තූර්‍ය්‍යනාදයෙන් හා, ශක්‍රයාගේ නඳුන් උයන් වන් දිව්‍ය උත්සවය මෙවැනි යයි මනුෂ්‍ය ලෝකයට ගෙනහැර දක්වන්නා සේ, පෙර ශ්‍රී ලංකාධිපති වූ සියලු රජුන් කළා වූ බුද්ධ පූජා ම මෙ වැනි ය යි දක්වන්නා සේ බුදුන්ගේ මහ පින්ලියය එ තැන්හි ම මල් ඵල දක්වන්නා සේ, සත් රෑ සත් දාවලක් මුළුල්ලෙහි එක මුඛයකින් කියා නිමවාගත නොහැකි අප්‍රමාණ වූ තුණුරුවන් පූජා කොට, එ වෙහෙර මහසඟනට සාංඝික කොට පිළිගන්වා, තමන්ගේ කීර්ති ශරීරය බුද්ධෝත්පාදයෙහි පවත්නා සේ, ස්ථාවර කළහ. තව ද: තමන් නමින් පරාක්‍රමබාහු නම් පිරිවෙනක් කරවා, නො එක් කප්පිය භාණ්ඩ දරුගම් වටනා පස එම වෙහෙර ලවා මහත් වූ පූජා කළහ.

තව ද භුවනෙක බාහු නම් මල් යුවරජ ලවා බෙලිගල් පායෙහි ඔහු නමින් ම පිරිවෙනක් හා රජමහා විහාරයක් කරවා, ශ්‍රී වර්ධනයෙහි කී පරිද්දෙන් ම සද්දවසක් මහත් වූ තුණුරුවන් පූජා කැරවූහ. තව ද: ඔවුන් ලවා ම කුරුණෑගල් පායෙහි එසේ ම රජමහ විහාරයක් කරවා, ඔහු නමින් ම මහෙන්‍ද්‍රබාහු පිරිවෙන කරවා, එසේම මහපූජා කැරවූහ. තව ද: කැළණි වෙහෙර යටාලතිස් රජ කැරවූ පස්මහල් මහපාය කටුකොහොල් පෙරළවා, එහි ම ඔත් පිළිම ගෙය කටු කොහොල් පෙරළවා, තව ද: එම වෙහෙර ත්‍රිවඞ්ක ගෙය කටුකොහොල් පෙරළවා, එහි ම මහවෙහෙර සිසාරා සලපතර අතුරුවා, එම වෙහෙර අභිමුඛයෙහි මහාමණ්ඩපයක් කරවා, වෙහෙර සිසාරා දහස් සුවහස් පහන් ඇගෑ බඳවා, නො එක් වාරයෙහි තුන් තුන් දවස් බැගින් බත් පූජා ය, මල් පූජාය, පහන් පූජා ය යි අප්‍රමාණ කොට පූජා කැරවූහ. තව ද: එම වෙහෙර බොහෝ කලක් තමන් නමින් පහන් පූජා පවත්නා සේ, වෙහෙරට නුදුරු තෙන නාළිකේර සහස්‍රෝද්‍යානයක් කරවා බුදුන්ට පිදුහ. තව ද: අත්තනගලු වෙහෙර දැහැමි සිරිසඟබෝ රජහු ඉස දන් දුන් තැන, ගෝඨාභය රජහු විසින් කැරවූ දෙමහල් වටදා ගෙය තුන්මහල් කොට කරවා, එම වෙහෙර තමන් පියරජහුගේ දේහ නිඃක්ෂෙප ස්ථානයෙහි මහසෑය බඳවා, එහිම අෂ්ටාංශ වූ ප්‍රතිමා ගෘහයක් කරවා එහි සල පිළිම වඩා නො එක් වාරයෙහි පූජා කළහ.

තව ද: අප බුදුන් අයාමෙහි බුදුරජය හිමි වූ, සුගත් මහ පවුලෙන් දායාද ලද අනුබුද්ධ වූ මහා කාශ්‍යප ස්ථවිරයන්ගේ දළදා ද, අනුක්‍රමයෙන් ලඞ්කාවෙහි ම පවතිති යි, බෙම්තොට දළදා ගෙයි වැඩ හිඳිති යි, අසා ඔබ කෙරෙහි උපන් මහත් වූ ශ්‍රද්ධාවෙන්, මහත් වූ මංගල්‍යයෙන්, සිවුරඟසෙන් සා සමඟ බෙම්තොටට ගොස් ඔබ දළදා දැක උපන් මහත් වූ ප්‍රීතීන් පිනා, ඒ සා දනවුව සිසාරා ඇවිරි බඳවා, තුන් දිවාරාත්‍රියක් බතින්-මලින්- සුවඳින් පුදා, මහත් වූ ප්‍රදීප පූජාවෙන් පින් රැස් කළහ. තව ද: දෙව්නුවර දෙවුරජාණන්ගේ රජගෙය ජරාවාස ව තුබූහ යි කරවූ කල් පමණ නැතැ යි අසා, ඒ ගෙය බිම්පිස කරවා, එ නුවර සියලු ජරාවාස කටුකොහොල් හරවා, හවුරුදු පතා ඇසළ පූජා කරවූහ. තවද: පියරජහු කැරවූ විජය සුන්‍දරාරාමය සිසාරා මහ පවුරු ලවා, එහි තුන් මහල් අලුත් දළදා ගෙය දිව්‍ය විමානයක් සේ කරවා, විචිත්‍ර වූ චිත්‍රකර්‍මාන්තයෙන් අසමාන කොට නිමවා, මහ පෙරහරින් දළදා වඩා, ශ්‍රීවර්ධන පුරයෙහි කළ පරිද්දෙන් ම මහ පූජා කළහ. තව ද: අප බුදුන්ගේ ජීවමාන බුද්ධ රූපය සිත් සේ දවස් පතා බලමි යි සිතා, එම ජීවමාන බුද්ධ රූපයෙන් රුවන් සක්මනෙහි වැඩසිටිනා භාවය, නොඑක් චිත්‍රකාරයන් ලවා පෙති කඩෙක සිතියම් කරවා, ලක්දිව බොහෝ සංඝයා හා මහ ජනයා රැස්කොට, සත් දිවාරාත්‍රියක් මහත් වූ බුදුමඟුලෙන් උත්සව පූජා කළහ.

තව ද: තමන් අෂ්ටාර්‍ය්‍ය මාර්‍ගයෙන් ගොඩනැඟීමට හේතුවන සේ තමන්ට තුන් වන්නෙහි ය, සවන්නෙහි ය, එකොළොස් වන්නෙහි ය, දොළොස් වන්නෙහිය, සතළොස් වන්නෙහිය, එක්විසි වන්නෙහි ය, සත්විසි වන්නෙහි ය, තිස් වන්නෙහි යයි අට වාරයක් ම අටමහ මලුකම් පූජාවක් සරහා ලඞ්කාද්වීපයෙහි දහස් ගණන් සංඝයා රැස් කරවා, සැටපා ගෙවල් නංවා, සිසාරා මහමඩු ලවා නානාවර්ණ වස්ත්‍රයෙන් අලංකාර කොට එහි මහ සංඝ ගණයා පෙළ පෙළ හිඳුවා, මහත් වූ දානපූජාවෙන් වළඳවා, තමන් නමින් මහණ මහලු පැවිදි කරවා, ස්ථවිර, මහා ස්ථවිර, ආයතන්, පරිවෙණාදි ස්ථානාන්තර දෙවා, පසුව දා මඟුලැතුන් උසට ගරු භාණ්ඩ හා සමඟ කප්පිය පරිෂ්කාර රැස්කරවා, මහා ස්ථවිර, ආයතන් ආදි මහා ස්ථානාන්තර ලදුවානට සළුපිඩගම් හා සමඟ සළුපිරිකර දී, අවශේෂ වූ ස්ථවිර නිශ්‍රයෙන් මුක්ත මහණ මහලු පැවිදි වූවානට අෂ්ට පරිෂ්කාර දී, මෙසේ ම සත් සත් දවස් බැගින් මහත්වූ රාජඍද්ධීන් මහ මලුකම් පූජාවක් අටවාරයෙකම කරවා, නො එක් වාරයෙහි අවශේෂ වූ මලුකම් පූජාවනු දු කළහ.

තව ද: කඨින දානයෙහි විපාක බොහෝ ය යි අසා අසූ අනූ ව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් යෙදී අශීති වර්ෂයක් ආයුඃ ශ්‍රී වළඳා සෙසු බුදුන් හා සම සමයේ ම ලෝවැඩ කළාවූ, අප මහා ගෞතම බුදුන් ගේ අශීති මහා ශ්‍රාවකයන් උදෙසා, අශීති මහා කඨින දානයෙකින් පෙර රජුන් නො කළාවූ ලෙසට අද්භූත වූ කඨින දානයක් දෙමි යි සිතා ලක්දිව බොහෝ ස්ත්‍රී පුරුෂයන් රැස් කරවා කපුයෙහි පටන් ඉවුම, රිකුරුම, පෙදකිරීම, කැටීම, වියවීම, ඇපිළී ම, කඩ කැපීම, ගෙත්තම් කිරීම, රඳනම යනාදි වූ සියලු කර්‍මාන්ත ම සුවහස් ගණන් සත්ත්‍වයන් ලවා එක දා ම නිමවා, කප්පිය වූ නො එක් ගරුභාණ්ඩ හා සමඟ ලක්දිව මහාස්ථවිර ගණයාට අශීති මහා කඨින දානයක් දී, එ දවස් ම අශීති මහා පූජාවක් කොට, සෙසු සියදහසක් ගණන් වාරයෙහි සියදහස් ගණන් කඨින දානයන් ද දී, භෝග පමණින් පින් රැස් කළහ.

තව ද: පෙර තමන් සිවුරඟසෙන් ගෙන ගොස් සමනොල වැඳ ශ්‍රී පාදයට ඒ ඒ දිගින් දස දස ගවුවෙහි මහවනය සිසාරා සිටි ජන පද මනුෂ්‍යයන් පුදා, නො එක් රත්නාභරණයෙනු දු පුදා, ආ සමයෙහි සිතන්නාහු “මා නො එක් රාජ්‍ය රක්ෂාවෙහි යෙදී වසන හෙයින් සිත් සේ ඒ ඒ තන්හි ඇවිද පින්රැස් කොට ලෝවැඩ කිරීම භාරකය. මාගේ ඒ අදහස් දැන ලෝවැඩෙහි බැඳෙන ඇමැතියෙක් කවරෙක් දෝ හෝ”යි සිතා එක නාළිකෙර ඵලයක් බුදු බවු පතා රෝපණය කොට, තුන් ඇස්සෙන් තුන් පැළයක් නංවා ගත්, දිළිඳුන් දැක අඹුදරුවන් පවා දන් දුන්, බුදු වෙම්වයි පතන තුණුරුවනෙහි පහන් දෙවප්‍රතිරාජ නම් අමාත්‍යයා කැඳවා “සමනොල යන මඟ ජලදුර්‍ග - පඞ්කදුර්‍ග - ගිරිදුර්‍ගයෙන් අතිදුර්‍ග ය, පින් ලෝභයෙන් හවුරුදු පතා යන අෂ්ටාදශ දේශවාසී සත්ත්‍වයෝ බොහෝ පීඩා විඳිනාහ, මා සමයෙහි සියලු සතුන් සුවයෙන් යන එන සේ ඒ මඟ ද හෙලි කරව, තව ද අත්තන ගල්ලෙහි පෙර මහ තෙරකෙනකුන් පින් බෙලෙන් අහස් පොළෝ ගුගුරුවා රහත් වූ තැන එ කල උපතිස්ස නම් රජහු කැරවූ පස්මල් රන් උළු මහපාය නැසී ටැම් පමණක් සිටියහ යි ඇසීමි, ජරාවාස හැරවීම නම් ආසිරි වඩනා පිනෙක, ඒ පින ද මා නමින් කරවාලව. තව ද බෙම්තොට නිස්සංක මහ පා උයන සේ මා නමිනුදු එහි උයනකු දු කරවා ලව”යි යනාදින් නො එක් විධාන කොට ඕහට සුදුසු වූ නොයෙක් සනුමාන දුන්හ.

හෙතෙම පළමුව ගම්පොළ නුවරගොස්, සමන් දෙව්රජාණන් ගේ රූපය කරවා, රන්රුවන් පළඳනාවෙන් ජීවමාන රූපයක් සේ සාදා, රුවන් මඩුයෙකින් ගෙන, පූජා පෙරහරින් සමනොලකුළ නික්ම, පළමු ව බෝතලයෙහි මුවදොර වඩු පන්තිස් රියන් මහ හෙයක් ද, කනමැදිරි හොය තිස් රියන් හෙයක් ද උලපනෙහි සතලිස් රියන් හෙ‍යක් ක්ද, අඹගොමු හොය සූතිස් රියන් හෙයක් ද, හේ මතුයෙහි ගෙවල් හා සමඟ ඇත් අස් ගවමහිෂයනු දු යා හැකි සේ ස්ථාවර කොට කරවා, සිය ගණන් මහසඟ පවරා, ඒ ඒ තැන්හි නො එක් දාන පූජා කොට, ඒ ඒ තැන්හි අරම් අම්බලම් කරවා සෙසු තැන්හි දු සේතු බන්‍ධන පියවරපාණබැඳ, මහවනය මහවත් කොට ගොස්, සමනොල වැද, දෙව්රජාණන් මලුයෙහි පිහිටුවා, සිසාරා පවුරු බැඳ, ශ්‍රීපාදය වසා මණ්ඩපයක් කරවා, යදම් කඳෙක් බැඳ රඳවා, තුන් දවසක් මලුයෙහි ලැග, ශ්‍රී පාදය සිසාරා ඇවිද, තමා මස්තකයෙන් තම රජහු නමට රාත්‍රි පහනක් පුදා, සිසාරා සුවහස් ගණන් පහන් පූජා කොට, බොහෝ කලක් රජහුගේ කීර්ති ශරීරය පවත්නා සේ එහි ශිලාලේඛන සිඳුවා, එපවත් රජහට සැලකොට යවා,

නැවත එයින් අත්තන ගලු ගොස් ඒ පාය රජු කී පරිද්දෙන් ම නොඑක් ධන පරිත්‍යාගයෙන් තුන් මහල් කොට කරවා අනෝමදස්සී නම් මාහිමියන්ට පිළිගන්වා, රජහුගේ නියෝග වූ පරිද්දෙන් ම දානවෘත්තී ව්‍යවස්ථා කරවා, එයිදු රජහට සැලකොට යවා, එයින් බෙන්තොට ගොස් කළු හෝ මුවදොර සයාසූරියන් මහ හෙයක් ද, කෙහෙල් සේනාවෙහි පන්සියක් රියන් මහහෙයක් ද, සල්ගොමු හොය දෙසියක් රියන් මහ හෙයක් ද, සල්පා හොය යෙළ සියක් රියන් ගෙයක් දැ යි යනාදීන් දුර්‍ග දුර්‍ග ස්ථානයෙහි නො එක් ඒදඬු, අරම්, අම්බලම් කරවා නිමවා, නොඑක් දාන පූජා කොට, කළුතොට පටන් බෙම්තොට දක්වා යොදනක් මානයෙහි නිවී ගැවසී සිටිනා සේ පරාක්‍රමබාහු නම් නාළිකෙරොද්‍යානයක් කරවා, එයිදු රජහට කියා යවා, තව ද: ඒ ඒ රට දී කපුයෙහි පටන් එක දා කරවා නිමි සවිස්සක් කෙළින් සිවුරෙන් හා සමඟ සූසැටක් කඨින පූජා කොට, එයින් ගොස් මහදෙල්ගස් නම් වූ මහ වනය මුලිනුපුරා මහත් වූ ග්‍රාමයක් බිම්පිස උපදවා, ඒ වනය කොස් වනයක් කොට, එහි තුන්මහල් පිළිම ගෙයක් ආදි වූ ආරාමයක් කොට, රජහු නමින් මහත් වූ දාන පූජා කොට, නැවත රජහු කරා අවුත් තමන් රජහු නමින් කළ කළා වූ පූජා පින් දැන්වූහ.

එ කල රජ පා ඔහු කෙරෙහි උපන් මහත් වූ කරුණා ඇති ව, ඔහු කැරවූ මහදෙල්ගස් නම් ග්‍රාමය ආදී වූ නො එක් හිම් පමුණු දී මහසඟ මැද ඔහු දළදා ස්වාමීන් කරා ගෙන ගොස් “මෙ තෙම තුනුරුවන් කෙරෙහි දු පහන, මා කෙරෙහි දු පහන, එසේ හෙයින් බුදුන්ට ද රජුන්ට ද පක්‍ෂපාත ය, ඔහු මට ඉතා ප්‍රිය බැවින් ප්‍රිය වූ වස්තුව දළදා ස්වාමීන්ට පුදමි”යි ඔහු ගුණ මුඛ නො පොහොනා සේ කියා පුත්‍රදාරාවන් හා සමඟ ඔහු දළදා ස්වාමීන්ට ම පූජා කොට එතැන් පටන් ඔහු ලවා ද, තමන් නමින් ම තුණුරුවන්ට නො එක් සත්කාර කැරවූහ. තව ද: නො එක් වාරයෙහි “බුදුන් සතු ලක්දිවින් ඔබට ම පූජා කෙරෙමි”යි සිතා තමන්ගේ රජගෙය දිව්‍ය විමානයක් සේ සරහා දළදා ස්වාමින් එහි වඩා, නානා විධ භොජනයෙන් හා නානා ජාතියෙහි පූප වර්‍ගයෙන් හා නාග චම්පකාදී යහල ගණන් සුගන්‍ධ මාලායෙන් හා නුවර පුදන ලද සුවහස් ප්‍රදීප මාලායෙන් හා වස්ත්‍රාභරණාදී අනගි අනැගි වූ පූජා වස්තුයෙන් හා නො එක් වාරයෙහි සත් සත් දවස් බැගින් තමන් භෝග පමණින් බුදුන් පිදූහ. තව ද: නො එක් වාරයෙහි ලක්දිව වැසි නො වැස, ශස්‍යයන් මලානික වන කල්හි මුළු හෙළදිව උත්සව මඟුල් කරවා චෛත්‍යාඞ්ගණ-බොධ්‍යඞ්ගණවල නොඑක් පූජා කරවා, දළදා ස්වාමින්ට දහස් පිරිත් කරවා නුවර මහ පූජාවෙන් ප්‍රදක්ෂිණා කරවා නො එක් ආරධනා කොට, එ කෙණෙහි ම සිරිලක වැසි වස්වා, බුදුබල පෑ ලෝකවාසීන් ලවා නො එක් වාරයෙහි බුදුන්ට ස්තුති පූජා කරවූහ.

මෙසේ තමන් ලද ජීවිතයෙහි සාරය ලදින් ලෝසසුන් රක්‍ෂාවෙහි අප්‍රමාද වූ රාජවංශ නමැති මහ මිණිවැලයෙහි රුවනක් බඳු වූ, රජපා බොහෝ කලක් රජසිරි විඳිනාහු, තමන්ගේ සහජාත පුත්‍ර වූ විජය බාහු ය, භුවනෙක බාහු ය, ත්‍රිභුවන මල්ල ය, පරාක්‍රම බාහු ය, ජය බාහු ය යි යන පුත්‍රයන් පස්දෙනා හා වීරබාහු නම් බෑන රජු හා සදෙනා ළඟට කැඳවා, නො එක් අවවාද දෙන්නාහු, “දරුවෙනි! ලෝකයෙහි අවජාත ය, අනුජාත ය, අතිජාත ය යි පුත්‍රයෝ තුන් දෙනෙක් වන්නාහ., එයින් මවුන් පියන්ගේ කුල පර පුරැ සැපත් නසා, ඔවුන් ශ්‍රී වුන් ගම අශ්‍රී විඳ ඇවිදිනාහු අවජාත නම් වෙති, මවුන් පියන්ගේ කුල පරපුරැ සැපත් පමණක් ම රක්‍ෂා කොට ඔවුන් හා සම සම ව වසන්නාහු අනුජාත නම් වෙති, මවු පියන්ගේ කුල පරපුරැ සැපත් හා අවශේෂ වූ වස්තු වඩ වඩා ශ්‍රී සම්පත් උපදවා ගෙන එවුන්ට වඩා ශ්‍රී සම්පත් විඳිනාහු අතිජාත නම් වූ උත්තම පුත්‍ර නම් වෙති.

මම ද මපියාණන් වහන්සේ මට ගෙන දුන් එක මායා රජය ගෙන දැන් තුන් රජය ම එක්සත් කොට තබා ගත්මි, ඔබ සාදාගත නුහුණු ද්‍රවිඩයන් මරා ලුහුබැඳ, නො එක් මහවන්නීන් සදා ගෙන්වා, මා පාමුල්හි රැස්කරවාපීමි. දඹදිවින් බිසෝවරුන් ආදි වූ නානා රුවන් හා පාක්කුඩම් ගෙන්වා පරදේශයෙහි රජුනු දූ තොපට නෑකොට තබාලීමි. සොළී-පාඬි රජයෙහි රජුන්ගෙන් රජ වොටුනු හා අනැඟි මිණිපඬුරු මා කරා ගෙන්වා ගතිමි.

තොප හැම තබා මාගේ සත්මුනුබුරු පරම්පරාවෙකත් රජසිරි විඳිනා පමණ අපමණ වූ නවරුවන් රැස්කොට තබාලීමි. ලෝක ශාසනය ද සමඟ කොට තබාලීමි. මේ ආදිකාරණයෙන් මම මපියාණන් වහන්සේට අතිජාත පුත්‍ර වීමි. තෙපි තෙපි දු මට මෙසේ ම අතිජාත පුත්‍ර වව,යි පෙර සාගර නම් රජහුගේ සැට දහසක් පුත්‍රයෝ දඹදිව සැට දහසක් රජ නුවර මවා වෙන වෙන ම සමඟ ව ම රාජ්‍යය කළාහ. දසබෑ රජහු මුළු දඹදිව දශ භාගයක් කොට බෙදාගෙන සමඟ ව ම රාජ්‍යය කළාහ. තෙපි තෙපි දු මතු ඔවුනො’වුන්ට සුවච ව, සිරිලක බෙදාගෙන සමග ව, රජය කරවා පරසතුරන්ට අවසර නො දෙව, තෙපි තෙපි දු මට මෙසේ අතිජාත පුත්‍ර වව”යි යනාදීන් නො එක් ඔවා තෙපුල් දී මහසංඝයා හා රාජ්‍යවාසීන් රැස්කොට “මාගේ මේ පුත්‍රයන් පස්දෙනා හා වීරබාහු නම් භාගිනෙය්‍යයන් හා මේ රජ සදෙනා අතුරෙන් මතු රාජ්‍ය රක්ෂාවෙහි යෝග්‍යයෝ කවුරු දෝ හෝ”යි විචාළහ.

එ තෙපුල් අසා මහ සංඝයා කියන්නාහු “මහරජ! මොහු සදෙන ම වෙන වෙන ම ධෛර්‍ය්‍යය, වීර්‍ය්‍යය, ඥානබලය, කායබලය ඇතියාහ, එසේ ද වුවත් තොපගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර වූ විජයබා රජ බාල රජයෙහි පටන් තුනුරුවන් කෙරෙහි අතිප්‍රසන්නයහ, අතිශ්‍රද්ධා ඇතියහ, ජරා දුර්‍වලයන් කෙරෙහි අතිදයා ඇතියාහ, දවස් පතා ගිලන් භික්ෂූන් පිළිවිසිති, ගිලන්පස දෙන්නාහ, අරාජිතයෙහි ගැති දස් ව ගිය සංඝයාගේ බන්‍ධූන් හා දුඃඛිත ජනයන්ට සුවහස් ගණන් රන් රුවන් දී සිය ගණන් ගළවා අළහ. තොපගේ පුරුෂයෝ සත්ත්‍වයන් අතින් කරවූවර එලවන්නා දුටු කල පවා, තමන්ගෙන් රන් දී ඔහු දු ගොඩ නංවා මුත් දැක දැක නොයන්නාහ, තොපගේ රජගෙයි රාජද්‍රොහ කළාවූ සොරහු පවා ඔවුන් කරා භය නැති ව වැද ගැළවුණාහු පමණ නැත, තොප දක්නට භය ඇති ව තොපට නො සෑදෙන සිංහල මහවන්නීහු පළමු ව අවුත් ඔවුන් දැක ඔවුන්ගේ බලයෙන් තොප දක්නාහ.

විජයබා රජහු

ලක්දිව ඇමැතියන් අඹුවොත් “මතු අප ඇම රකු නම් බෝසත් විජයබාහු රජහට දැන් පටන් සේවය කරව”යි තමන් තමන් පුරුෂයන් උගන්වත්ල, කිරිබොන දෙ තුන් හැවිරිදි බාල දරුවෝ මවුන් පියන් සුරතල් විඳුම්හ යි “මතු පුත කාට සේවය කරවු දැ”යි විචාළ කල්හි “අප බෝසත් විජයබාහු රජහට සේවය කරම්හ”යි කියති. මවුන් පියන් අතින් සනා පහර ලද කිරිබොන කුමරහු “විජයබාහු රජ දැක තමන් ගෙඩි කෑ පවත් කියා මවුන් පියන්ගේ දැඩිකම් රජහට පමුණත්ල, විජයබාහු රජ කුමරුවන්ගේ බස් අසා මවුන් පියන් ගෙන්වා ඔවුන්ට ප්‍රසාද දී කුමරුවන් නො මරන සේ කියා කුමරුවන්ට වැටුප් තබා, දෙත්ල. ලක්දිවවාසීන් ලවා බෝ සත් විජය බා රජ ය යි තුඬ තුඬ කියවා මේ ආදි ගුණයෙන් ජනානුරඤ්ජනයෙන් යෙදී වෙසෙති; දේවයෙනි! අහස් බලා සඳ කොයි දැ යි විචාරන්නා සේ ඔහුගේ ගුණ දැන දැන අප අතින් විචාරනු කිම් ද? ලඞ්කාද්වීපයට රාජ්‍යය තබා ජම්බුද්වීපයටත් රාජ්‍යය කරත් පින් බල ඇතියාහ, මතු තබා දැන් ම තොපට අතිජාත පුත්‍රභාවයෙන් යෙදිනැ” යි යනාදීන් තමන් තමන්ගේ මුඛ නො පොහොනා සේ ඔහු ගුණ වර්ණනා කළාහ.

දෙවන පැරකුම්බා රජහු

එ කල පරාක්‍රම බාහු රජ පුත් රජහුගේ අපරිමිත ගුණ අසා සතුටු කඳුළෙන් නුවන් තෙමා, ඔහු ළඟට කැඳවා, සිඹ සනහා, සම ආසන ව හිඳුවා, සෙසු රජ පස් දෙනා ද, දළදා-පාත්‍රධාතු ද, මහ සංඝයාද, අමාත්‍ය මණ්ඩලයද, මුළු හෙළදිව රාජ්‍යය රක්ෂාවද ඕහට ම පාවා දී තමන් මායා රජයෙහි රාජ්‍යය කළ හෙයින්, අරාජීතයෙහි නැසී ගිය ලක්දිව ජන පීඩා වන හෙයිනුත්, බොහෝ සංග්‍රාමයෙහි නියුක්ත හෙයිනුත් රුවන්මැලි මහසෑය බඳවා කොත් පලඳවා ගත නුහුණු නියාවත්, දෙමළුන් නැසූ මූල රාජධානිය පොළොන්නරුව සමෘද්ධ කරවාගත නුහුණු නියාවත්, අරාජිතයෙහි මායා රජයට වැඩි වන දළදා ස්වාමින් කඳවුරු ගෙන ගොස් දළදා ගෙට නො වැඩු නියාවත්, දාස් තොටදී රජයෙහි ජනයන් හා මහා සඞ්ඝයා රැස්කොට මලුකම් කරවා ගත නුහුණු නියාවත්, තමන් කඳවුරු ගොස් අභිෂේක මඟුල් නොකළ නියාවත් යනාදි වූ ලෝ වැඩ සසුන් වැඩ කියා “පෝසත් වූ නම්, මේ ආදී රාජ්‍ය ක්‍රියාවෙහි යෙදී, මපියාණන් වහන්සේට මා සේම තෙපිදු මට අතිජාත පුත්‍ර වව”යි අනුශාසනා කොට රාජ්‍ය රක්ෂාව පාවා දුන්හ.

පුත් කුමාරවරුන්ට රාජ්‍යය භාර දීම

එ කල විජයබාහු රජ නො බා ම රාජ්‍ය රක්ෂා භාරය පිළිගෙන පියරජහු කී ඔවා තෙපුල් නැමැති මස්තක මාලාවෙන් තමන් මස්තකය සරහා “මපියාණන් වහන්සේට, මා අතිජාත පුත්‍ර වන බවු ඔබ සමයෙහි ම ඔබ හා ලෝකවාසීන්ට දක්වා මුත් නො හරිම් ම ය”යි මහත් වූ රාජාභිමාන බැඳ:

ස්වාම්‍යමාත්‍යං ච රාෂ්ට්‍ර ච-දුගිං කොෂො බලං සුහෘත්,

එතත් ප්‍රකෘතයස්සප්ත-සප්තාඞ්ගං රාජ්‍යමුච්‍යතෙ-යි.

යන රාජ සප්තාඞ්ගය කල්පනා කොට ඊට මට ආත්ම සමාන වූ අදහස් නො වරදවන්නා වූ කොතුහල මන්ත්‍රී වූ සිත ඇත්තක් නො හඟවා කථා කොට පියන තරම් මිත්‍රාඞ්ගයට කවර කෙනෙක් සමර්ථයෝ දෝ හෝයි පරීක්ෂා කරන්නාහු, සහෝදරයන්ටත් වඩා පණ්ඩිත වීරබාහු රජහු වැලි කෙළියෙහි පටන් ස්වප්නයෙනුත් තමන් හා විශ්වාසයක් මුත් අවිශ්වාසයක් නැති නියාවත් ඔවුනොවුන් නො දැක නො වසන ප්‍රේම ඇති නියාවත්, තමන් සේ ම ලෝවැඩ සසුන් වැඩෙහි අති ලෝභ නියාවත්, පොළොව සමාන ඥාන බල මන්ත්‍රී බල ඇති නියාවත් පරීක්ෂා කොට සුහෘදඞ්ගයට ඔහු ම මට තරම්හු ය යි සිතා ඔවුනොවුන් හා සමඟ මන්ත්‍රණය කොට එතැන් පටන් දෙසුහුරු රජහු එක්ව ගෙන “පළමු කොට කෙබඳු වූ පිනක් කරමෝ දෝ හෝ”යි කල්පනා කොට “දළදා ස්වාමීන්ට පිය රජහු කැරවූ ජම්බු ද්‍රොණි පුරයට මස්තකයෙහි දළදා ගෙය බොහෝ කාලයක් වැඩහුන් හෙයින් ජරාවාස ය, මට පාවා දුන් ස්වාමීන් මා කැරවූ දළදා ගෙයෙක ම වැඩහුන මනා වේ දැ”යි සිතා පරණ දළදා ගෙය බිම් පිස කරවා පෙර කළ කර්මාන්තයට දිවුණ දිවුණා කර්‍මාන්ත කරවන්නාහු, සිය ගණන් මෙහෙකරුවන් රැස් කොට, නොබෝ දවසකින් දිව්‍ය විමානයක් මෙන් අසමාන වූ දළදා ගෙයක් නිමවා, නුවර මහ පූජාවෙන් එහි දළදා වඩා, පෙර කලටත් වඩා දවසින් දවස පූජා ව්‍යවස්ථා කරවා තමන්ගෙන් රකවල් ලවා ඒ පින ද පිය රජහු නමීන් ම දන්වා යවා,

එ තැන් පටන් ගඞ්ගෝදකයට යමුනෝදකය වැද ගියා සේ පිය රජහු තමන් කෙරෙහි ඇති මේ වතුරු දිවුණු කරවා ගෙන, පරාක්‍රමබාහු–ජයබාහු රජකුමරුවන් දෙදෙනා බාල හෙයින් පිය රජහට දරුශෝකයක් වැද්ද නො දෙන සේ සමීපයෙහි වසව යි රජහු ලඟ රඳවා. ත්‍රිභුවන මල්ල නම් මල් රජහු ජම්බුද්‍රෝණි නම් පුරයෙහි පටන් දකුණු පසෙහි සමුද්‍රාන්ත කොට පියරජහට අරක්ගන්නා සේ නියෝග කොට සිටුවා, ඕහට ද දකුණු පස පිරිස් පාවා දී භුවනෙකබාහු නම් සහෝදර මල් රජහු යෝධ බල හෙයිනුත්, යුද්ධ කාමී හෙයිනුත්, ද්‍රවිඩයන් බොහෝ සේ බස්නා කුඩවැලිගං ගසා උත්තරාපථයෙහි පියරජහට අරක් ගන්නා සේ නියෝග කොට, යාපවුගල පිහිටුවා ඒ දිග්හි බලපිරිස් ඕහට පාවාදී, වීරබාහු රජහු හා සමග තුමූ ලක්දිව ඒ ඒ තන්හි ඇවිද රාජ්‍යය තැන්පත් කොට පොළොන්නරු නුවර කරවම්හ යි කියා පියරජහු අතින් සමු ගෙන නික්මුණාහ.

එ කල පරාක්‍රමබාහු මහ රජාණෝ පුත් රජහු කෙරෙහි උපන් මහ පෙම් වතුරෙන් ඉපිල පැන නැංගා සේ, හුනස්නෙන් පැන නැඟී පුත් රජහට පසු ගමන් කොට “ම පුතුන් කෙරෙහි පෙම් ඇති සෙනඟ‍ෙක් ඔහු හා සමඟ යව”යි නියෝග කළහ. එතෙපුල් ඇසූ සියලු රාජ්‍යවාසීහු “අප බෝසත් විජයබාහු රජ රාජ්‍යය ලදහ, ඔවුන් හා සමග අපි යම්හ, අපි යම්හ”යි ඔවුනොවුන් පරයා ඌමිවේගයෙන් උද්දාම වූ සමුද්‍රයක් සේ නික්මුණාහ.

බෝසත් විජයබා රජුගේ පින්කම්

එ කල සමහර ඇමැතියන් ඔහු කැමැති ව ද නො යන කල්හි සුවහස් ගණන් ඇමැති දූ “තෙපි තෙපි නො යා නම් ඇපි ඇපගේ බෝසත් විජයබාහු රජු හා සමඟ ගොස් ඔවුන් වසන රට වැන්දඹු ව වී මුත් වසම්හ”යි තමන්ගේ පුරුෂයන් නො බලා නික්මුණාහ. සමහර කිරි බොන දරුවෝ මවුපියන් නො යන්නා දැක බෝසත් විජයබාහු රජහු යන්නා දැක මවුපියන් තබා රජු පසුපස්සෙහි නික්මුණාහ.

එ කල බෝසත් විජය බාහු රජ සිය ගණන් තබා නිකුත් මහසෙන් දැක, උපන් මහත් වූ ප්‍රිතීන්, සමහරු අවවාදයෙන් රඳවා කැමැති පමණ පිරිස් ගෙන, පෙර මහලු විජයබාහු රජු හා ද්‍රවිඩ සංග්‍රාමයෙහි ධන–ධාන්‍ය එහි පිහිටුවා, මායාදුනු පිරිස් ඒ පර්‍වතයට ආරක්‍ෂාවෙහි පිහිටුවා, එ ගල් මුදුනෙහි මහ නෙත් පාමුල මහා ස්ථවිරයන්ට සඞ්ඝාරාමයක් කරවා, පිළිගන්වා, දාන වෘත්ති ව්‍යවස්ථා කරවා එයි දු පියරජහට දන්වා යවා එයින් සිවුරඟ සෙනඟ ගෙන සමනොළ ගොස් බුදුන් ගේ ශ්‍රී පාද වැඳ අනැඟි අනැඟි රත්නාභරණයෙන් බුදුන් පුදා, එයින් ගොස් ගම්පොල නුවර වැද, එහි නියම්ගම් පාය කටුකොහොල් පෙරළවා, එහි දු දානවෘත්ති ව්‍යවස්ථා කරවා,

එයින් සීඟුරුවායනට ගොස් එහි වල්ගම්පායෙහි නව කර්‍මාන්ත කරවා, නිමවා පියරජහු නමින් අභය රාජ පිරිවෙන කරවා, ඒ ග්‍රාමය පිරිවෙණට පුදා එහි ද දානවෘත්තිය ව්‍යවස්ථා කරවා, එයින් භුවනෙකබාහු නම් සුළු පියරජහු විසූ කුරුණෑගල් ගොසින් එ රජහු කැරවූ රජමහ විහාරයෙහි ඔහුගේ ම දේහ නිඃක්ෂේප ස්ථානය දැක දෙරජහුම එ රජහු කෙරෙහි උපන් මහාශොකයෙන් වැලප, අනිත් ලකුණු උපදවා, එතැන්හි ම තුන් මහල් ගෙඩිගෙය කරවා, එහි මහ බුදුන් කරවා, ඒ රජහුගේ රූපය කරවා, සර්වාභරණයෙන් ජීවමාන සේ සරහා, එම ගෙයි පිහිටුවා නො එක් පිරිවර හා දරුගම් වටනා පස ලවා, භුවනෙකබාහු පිරිවෙණ ය යි ඒ ගෙට නම් තබා, එ නුවර ජන ගහන කරවා පවුරු වාසල් ආදියෙන් සේම කොට බදල ගොඩ නුවර බද මනුෂ්‍යයන් එ ගල් රක්‍ෂාවෙහි සිටුවා, එයි දු පියරජහට දන්වා යවා, එයින් ගොස් දෙ සුහුරු රජහු මහසෙන් හා සමඟ යාපවු ගලට ගියහ.

චන්‍ද්‍රභානු හා දෙවන යුද්ධය

එ කල පෙරවක් පිය රජහුගේ යුද්ධයෙහි පැරද පැලෑ චන්‍ද්‍රභානු රජු හා ජාවක මහ සෙනඟ සොළී පාඬින් ගෙන මාවටු බැස කුරුදු-පදී-මානාවතු-ගොනදෙබර පටන් ආදි තන්හි සිංහල බලයෙන් ගෙන පෙරලා අවුත්, යාපවු ගල් සිසාරා, අතුරු නොදී කඳවුරු බැඳ “මෙ වක පෙර වක සේ ආ පසුයෙහි නො යම්හ, මෙ තුන් රජය තොපට නො හරිම්හ, දළදා-පාත්‍ර ධාතු දෙව, රජ වොටුනු දෙව, රාජ්‍යය දෙව, සටන් හෝ කරව”යි සැහැසි වහසි කියා යවූ හ.

එ කල විජයබාහු රජ නො බා මැ වීරබාහු රජු කැඳවා සමඟ මන්ත්‍රණය කොට “මෙ තැන්හි අප දෙදෙන බල දක්වම්හ”යි සෙසු සෙනඟක් නො ගෙන්වා දෙදෙන හා සමඟ ගිය සෙනග ම ගෙන මාරයුද්ධ කරන්නා සේ, නො එක් යුද්ධ කොට චන්‍ද්‍රභානු රජු හා සෙනඟ මතු උත්සවයක් නො කරන සේ මරා, ලුහුබැඳ, ඔහුගේ ඇත්-අස්-ජයබෙර-ජයකුඩ–බිසෝවරුන් ආදී වූ සියලු සැපත් හා සියලු ආයුධ ගෙන, ඒ සියල්ල ම පියරජහු කරා ජම්බුද්‍රෝණිපුරයට යවා, ඒ නුවර මහත්වූ මාලිගාවක් නංවා, නුවර සිසාරා සල පවුරු ලවා, යාපව්ව බද ජනයන් එ නුවර ආරක්‍ෂාවෙහි සිටුවා, භුවනෙක බාහු නම් මල් රජහු එ ගල රඳවා, එ නුවර ද බොහෝ සංඝයාට දන්වැට නංවා, එයි දු පියරජහට දන්වා යවා,

එයින් අනුරාධපුර නුවර ගොස් මහසෙනඟ ලවා දෙනානකයෙහි තඹරුප්, ශ්‍රී මහා බොධි, ලෝවා මහ පා, රුවන්මැලිමළු ආදි තන්හි වල් සිදුවා, මැලිමළු තනවා, ඒ ඒ තන්හි ගිය නුවර වාසීන් ගෙන්වා රුවන්මැලි මහසෑයෙහි පියරජහු කරවා නොනිමි කර්‍මාන්ත කරවන සේ නියෝග කොට, සෙනෙවිරත් පිරිවෙන් ආදි වූ මහසංඝයාට දාන වෘත්ති තබා දී, පරාක්‍රමබාහු රජහු පවා දක්නට භය ඇති ව, එ වක් දක්වා නො දැක හුන්, පිහිටි රජයෙහි මහ වන්තීන් තමන් ගියහ යි අසා භය නැති ව අවුත් දැන්වූ කල්හි, ඔවුන්ට ප්‍රසාද දී, පෙර නො එක් වර යුද්ධයෙහි ඔවුන්ගෙන් අල්වා කස්තිර කොට ගත් අඹුදරුවනු දු පාවා දී, ඔවුන් නුවර රකිනා සේ ආරක්‍ෂාවෙහි නියුක්ත කොට, එයි දු පියරජහට දන්වා යවා,

එයින් පොළොන්නරු මූල රාජධානියට වැද, බොහෝ කලක් නැසී තුබූ සියගණන් වෙහෙර සසුන් හා බිම් පමණක් තිබිය දී නැසී ගිය රාජධානිය හා සිඳී බිඳී ගිය පවුරු පදනම් ආදි අපරිමිත නව කර්‍මාන්ත කොට, දෙ සුහුරු රජහු ම ඔවුනොවුන් පරයන අදහසින් පොළොන්නරු කරවා, මතු අපගේ යශස ම සිටුවම්හ යි වහසි කියා පියරජහට දූතයන් අතකැඩපත් ලියා “පොළොන්නරු රාජධානිය නවකර්‍මාන්ත බොහෝ නියාවත්, සමහර කර්‍මාන්ත බිම්පිස කැරවුව මනා නියාවත්, සමහරක් නසිමින් සිටි නියාවත්, කිසියම් දෙයක් නො නෑසී සිටි නියාවත්, දැන් අප උපෙක්‍ෂා වුවහොත් මතු වන රජුන්ට උගහට වන නියාවත්, පෙර බොහෝ රජුන්ගෙන් නටුවාවූ කීර්ති ශරීරය දැන් අපි උපදවා ස්වාමීන්ගේ යශස් නැමැති ජිවිතෙන්‍ද්‍රියය පිහිටුවාලනු කැමැතියම්හ. උදහස් නොව අදහස් දෙවා වදාළ මැනැවැ”යි දන්වා යවා,

එ කල පිය මහ රජාණෝ පුත් රජහුගේ සූර වීර තෙපුල් අසා, ලෝ වැඩ සසුන් වැඩ යෙදුණා වූ ප්‍රේමනීය කථා අසා, තමුනු දු අනවකාශයෙන් සිත සිතා ම හිඳිනා කාර්‍ය්‍යයක් ම හෙයින්, මහමෙර සේ පැන නැඟී සන්තෝෂයෙන් පිනා, එ කෙණෙහි ම ඇමැති මඬුළු මහ සංඝයා මැද මෙ පවත් කියා, මායා රජයෙහි රැස් ව ඒ ඒ තන්හි හුන් ස්වර්ණාකාර, කුම්භකාර, චර්‍මකාර, අයකාර, ලොහකාර, ධනුකාර, චිත්‍රකාර, උළුවඩු, සුණුවඩු, දඬුවඩු, ගල්වඩු ආදි සුවහස් ගණන් කර්‍මකර පිරිස් හා සුවහස් ගණන් බැලනියාවුන් හා කැති, පොරෝ, උදලු, කුන්තානි නො එක් උපකරණ භාණ්ඩයනු දු යවා, ජම්බුද්‍රෝණි පුරයට පූර්වදිග් භාගයෙහි වසන සුවහස් ගණන් බල පිරිස් පුත් රජහට අරක් ගන්නා සේ යවා, නව යොදුන් රට බද මානයෙහි සියලු බල පිරිස් බෑන රජහට අරක් ගන්නා සේ නියෝග කොට යවා, අපරිමිත වූ රන්රුවන් පඬුරු ද යවූහ.

එ කල විජයබාහු වීරබාහු රජ දෙදෙන තමන් පොළොන්නරු වන් රජහට සත්විසි වන හවුරුදු පටන් පොළොන්නරුවෙහි නො එක් කර්‍මාන්ත කරවන්නාහු, පළමු කොට මහ සැඟැ ඇළ ආදි නැසි නැසී ගිය වැව් කර්‍මාන්ත කොට, අමුණු කර්‍මාන්ත නිමවා, මහවෙල් හෙලිකරවා, කෙත් කුඹුරු ඇති කොට, ගොයම් කරවා රට බතින් සමෘද්ධ කරවා, ජනගහන කරවා, ඒ දෙවනු ව නුවර වාසල්-පවුරු-වීථි-පතැස්-උයන්-පොකුණු යනාදි කර්මාන්ත පෙර සේ ම කරවා තුන් වනු ව ලංකාතිලාකාදි වෙහෙර සසුන් කරවා, ලක්‍ෂ ගණන් මනුෂ්‍යයන්ගෙන් මහ ජන ගහන කරවා, එයි දු පියරජහට දන්වා යවා, පිය රජහු මහත් වූ රාජමඞ්ගල්‍යයෙන් ගෙන්වා, කඳවුරු බෑ පුරෙහි දී අභිෂේක මඟුල් කරවා, වීරබාහු රජහට ඒ සියලු රාජ්‍යය ම පාවා දී, ඔවුන් එහි රඳවා,

තුමූ පිය රජහු සමඟ ජම්බුද්‍රෝණි පුර ගොස්, කඳවුරු දළදා ස්වාමින් වඩා ගෙන යන සේ පිය රජහු අනුදන්වා ගෙන, ජම්බුද්‍රෝණි පුරයෙහි පටන් පොළොන්නරු නුවර දක්වා විසි ගවු මඟ ඇත්-අස්-රථ–රුවන් මඩු නො ගැහැටි යන සේ මඟ සම කරවා, දෙ දෙ ගව්වෙහි ඉඩම්-මඩම් නංවා ඒ ඒ තන්හි ධ්වඡ, පුන්කලස, කෙහෙල්, තොරණ ලවා, දළදා ස්වාමින් අනැගි වූ රථයකින් වඩා මහත්වූ උත්සවයෙන් රන් ධ්වඡ–රිදී ධ්වජ-රන් පැන-රිදී පැන-රන්කලස–රිදී කලස-රන් චාමර–රිදී චාමර-රන් විසිරි-රිදීවිසිරි රන් පතැස්-රිදී පතැස් යනාදි වූ රජ පෙළහරයෙන් ඒ මාර්‍ගය අතුර නොදී වතුර සේ නිකුත් මහ සෙනඟින් හා ඒ ඒ තන්හි අතෝනාලද පඤ්චාඞ්ගික තූර්‍ය්‍ය නාදයෙන් හා, ඔවුනොවුන්ට වාද කරන්නා සේ, ඒ ඒ තන්හි සිට ගසන ලද සුවහස් ගණන් බලත් හඬින් හා, අහෝ! සාධු! අහෝ! සාධු යි කියන ලද අපිරිමිත සාධු නාද වචනයෙන් හා, මහ මේ ගිගුම් ගත් සමුද්‍රයෙන් නිකුත් ඌමි වේගයක් සේ, ඔවුනොවුන් පරයා දිවන පින් සොඬ වූ මනුෂ්‍ය සේනාවෙකින් හා, බුදු මඟුලට දිවූ බඹසෙනඟක් සේ, ඔවුනොවුන් පරයා දළදා – පාත්‍ර පසු පස්සෙහි නිකුත් සංඝ සමූහයකින් හා නික්ම, ඉඩමින් ඉඩමෙහි මහ පූජාවෙන් වඩා – මල් පූජා - බත් පූජා – පහන් පූජා කරමින්, සුවහස් ගණන් මහ සංඝයාට මහදන් දෙමින්, පොළොන්නරුවට වඩා ගෙන ගොස්, මුළු නුවර දිව්‍ය පුරයක් මෙන් සරහා පරණ දළදා ගෙය දිව්‍ය විමානයක් සේ සරහා, සූසැට හවුරුද්දක් අනාවාස ව තුබූ දළදා ගෙට ශුභ මොහොතකින් දළදා ස්වාමින් වඩා, දවසින් දවස පෙරවරු පුදන ලද යහල ගණන් සුගන්‍ධ ශාලි භෝජනයෙන් හා, බොහෝ කලක් දළදා නුදුටු පින් සොඬවූ ජනයන් විසින් වස්වන ලද සුවඳමල් වර්ෂාවෙන් හා, රාත්‍රියෙහි පුදනලද ප්‍රදීප සහස්‍රයෙන් හා අපරිමිත වූ පූජා කරන්නාහු, තුන් මසක් මුළුල්ලෙහි මඟුල් කොට නිමවා, එයි දු පිය රජහට දන්වා යවා,

දහස්තොට දී මලුකමු දු කරවම්හ යි පිය රජුහුගෙන් අනුදන්වා ගෙන වීර බාහු රජහු දහස් තොට යවා, එහි සුවහස් ගණන් සංඝාරාම කරවා, සැටපා ගෙවල් නංවා, පෙර සිරිත් වූ පරිද්දෙන් ම මලුකම් පූජා සරහා, එ පවත් ඇසූ පිහිටි රජයෙහි හා රුහුණු රජයෙහි මහ වන්නි තමන් කෙරෙහි භයින්, නො එක් දානෝපකරණ ගෙන දහස් ගණන් දහස් තොට ගලා ගත් කල්හි “තුන් රජයෙහි මහ සංඝයා මා කෙරෙහි පෙම් ඇත්තෝතින් මාගේ මලුකම් පූජාවට වඩනේ ය”යි ආරාධනා කොට යවා එ පවත් ඇසූ “අප බෝසත් විජය බා මහ රජහුගේ මඞ්ගල්‍ය පූජාවට අපි අපි යම්හ”යි ගේ බලන භික්‍ෂු පමණකුත් නොරඳවා, සුවහස් ගණන් සංඝයා පෙළ පෙළ දී, සිටි සිටි තෙනින් ගොස්, ඡද්දන්ත විල සිසාරා සිටි රත් පියුම් වනයක් සේ, දහස් තොට සිසාරා, ගලාගත් කල්හි දෙපෝයක් මුළුල්ලෙහි අනේක ප්‍රකාර ප්‍රණීත භෝජනයෙන් මහදන් දී, බොහෝ දෙනා මහණ මහලු පැවිදි කරවා, ආයතන් - ස්ථවිර - මහා ස්ථවිර මාහිමි යනාදි ඨානාන්තර දෙවා ලදුවානට තෙලිසම් - සළු - පිඩහම් සමඟ සුවහස් අගනා සේ සළු පිරිකර දී, රැස් වූ මුළු ලක් දිව සුවහස් ගණන් මහ සංඝයා අතුරෙන් සඟ නමකු දු නො වරදවා, අනැඟි පිරිකර දී, ඉතිරි ව ගිය පිරිකර සොළී - පාද්ධි රජයෙහි භික්ෂූන්ට යවා, මහ සඟ මැද “මා කළා වූ සියලු පින්කම් ම ම පියාණන් වහන්සේ නමිනැ”යි අස්වා දෙපෝයක් මුළුල්ලෙහි මහලුකම් පූජාව නිමවා, එයි දු පියරජහට දන්වා යවා;

එ කල පිය රජහු එ තෙපුල් අසා, උපන් මහා සන්තොෂයෙන් “රහල් තෙරුන් කළ ප්‍රතිපත්ති පූජා ද, බුදුන් කළා ම වන බැවින් ම පුත්හු කළ සත්කාරය ද, මා ම කෙළෙම් යැ” යි සමාදන් ව අනැගි නො එක් පඬුරු දී යවූහ.

මෙසේ මේ පන්තිස්වන්නෙහි කරන ලද විජයබාහු මලුකම් පූජාව හා සමඟ, නව මලුකම් පූජාවක් කරවා, තුමූ එම ජම්බුද්‍රෝණි නම් පුරයෙහි තව ද වඩ වඩා පුත්‍රයන් විඳිනා ශ්‍රී සම්පත් බල බලා තව ද වඩ වඩා පින් රැස්කොට රජසිරි විඳිනාහ.

පූජාවලිය පිළිගැන්වීම හා පෙළහර කිරීම

එකල උභය කුල පරිශුද්ධව පැවති ගණවැසි කුලෙහි අවිනෂ්ට වූ මහා පඬිවංශ ඇති වාගිරි පර්‍වතයෙහි එම රජුගේ ආරාධනාවෙන් සිවුපස දානය ලදින් වාසය කළා වූ මහනෙත් පා මුල සුමඞ්ගල මහා ස්ථවිරයන්ගේ සහෝදර වූ ඔවුන්ගෙන් ම කිසියම් දහම් නයක් දැනගත්තා වූ මයුරපාද පරිවෙණාධිපති බුද්ධපූත්‍ර ස්ථවිරයන් විසින් නව අරහාදි බුදුගුණයෙහි පළමු වන අර්හත් ගුණය ගෙන සූතිස් පරිච්ඡේදයෙකින් හා සූවිසි දහසක් පමණ ග්‍රන්‍ථ සඞ්ඛ්‍යාවෙකින් හා සයානු බණවරෙකින් හා සත් ලක්‍ෂ අට සැටදහසක් පමණ අක්‍ෂර සඞ්ඛ්‍යාවෙකින් හා, අසඛ්‍ය ගණන් පූජා නයින් උපලක්ෂිත වූ මේ පූජාවලී නම් ධර්‍ම ව්‍යාඛ්‍යාන කථාව මේ රජහට තිස්වන්නෙහි උපදවා, “අප බුදුහු එක අස්නේ වැඩ හිඳ නානා ලෝකධාතුයෙහි සත්ත්‍වයන්ට බණ වදාරන්නාහ. ඔබගේ පුත්‍රවංශයෙහි ජාත වූ හෙයින් අපි දු අපගේ වෙහෙර ම හිඳ අප රජු හා ශ්‍රී ලඞ්කාද්වීපවාසි සත්ත්‍වයන්ට අනුශාසනා කොට බුදුන්ට උතුම් වූ ප්‍රතිපත්ති පූජා කරම් හ”යි සිතා එම දේවප්‍රතිරාජ නම් අමාත්‍යයාණන් අතට දී යවන ලද.

එ කල රජපා මේ පූජාවලිය දැක දෙවන රජයක් ලදුවා සේ උදාර වූ සන්තෝෂයෙන් පිනා දෙපෝයක් මුළුල්ලෙහි අනික් රාජ්‍ය ක්‍රියාවෙක නො යෙදී සිත් එකඟ ව අසා, බුදුන්ගේ අපරිමිත වූ ගුණයෙහි පැහැද රාජ්‍යය පුදා පියන තරම් උදාර වූ සන්තෝෂයෙන් යෙදී, පොත ලක්දිව නො එක් ප්‍රඥාවන්ත ජනයන්ට පෑ බිසොවු ලවා මඟුලැතු පිට තබා සේසත් හා සමඟ නුවර නො එක් පූජායෙන් උත්සව කරවා, බොහෝ කලක් ඇසූ ඇසු ශ්‍රද්ධාවන්තයන් මෙහි ආදර කරන සේ, බුදුන්ගේ ද තමන්ගේ ද, මේ කීර්ති ශරීරය ස්ථාවර කොට නො එක් සත්කාර කළහ.

මෙසේ මා විසින් එක ව්‍යාඛ්‍යාන කථාවෙහි කියන ලද පළමු වන සංග්‍රහ පරිච්ඡෙදයෙහි සූතිස් මහා සංග්‍රහ පූජා ය, දෙවන අභිනිහාර මඟුල් නම් වූ පරිච්ඡෙදයෙහි කියන ලද අට ලක්‍ෂ අසූ දහස් එක්සාලිසක් පමණ පූජා ය, තුන්වන සාමාන්‍ය ධර්‍මයෙන් ලද විවරණ පරිච්ඡේදයෙහි පස් පනස් ලක්‍ෂ විසි දහසක් පමණ පූජා ය, සතර වන බෝධිසම්භාර පරිච්ඡේදයෙහි තෙළෙසක් පමණ පූජා ය, පස් වන ප්‍රථම ජාතිභේද පරිච්ඡේදයෙහි සුසාළි සක් පමණ මහා ජාතිභේද පූජා ය, සවන ද්වීතිය ජාතිභෙද පරිච්ඡේදයෙහි සූවිසි මහා ජාතිභේද පූජා ය, සත්වන සාධුනාද පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ සතලිස් දහසක් පමණ පූජා ය, අට වන ප්‍රතිසන්ධි පරිච්ඡේදයෙහි දෙ තිස් මහා පූර්‍වනිමිති පූජා ය, නව වන ප්‍රසව මංගල්‍ය පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ සතලිස් දහස් දෙතිසක් පමණ පූජා ය, දස වන මහබිනික්මන් පරිච්ඡේදයෙහි පස් ලක්‍ෂ දොළොස් දහසක් පමණ පූජා ය,

එකොළොස් වන බෝධිමණ්ඩල පරිච්ඡේදයෙහි සාරලක්‍ෂ විසි දහස් තෙසාළිසක් පමණ පූජා ය, දොළොස් වන බ්‍රහ්මාරාධනා පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ සතළිස් දහසක් පමණ පූජා ය, තෙළෙස් වන දම්සක් පැවතුම් පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ සතලිස් දහස් දෙතිසක් පමණ පූජා ය, තුදුස් වන වෙළුවනාරාම පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ පන්දහස් තුන්සිය සූසාළිසක් පමණ පූජා ය, පසළොස් වන නිග්‍රොධාරාම පරිච්ඡේදයෙහි සාරලක්‍ෂ විසි දහස් එකුතුරු වූ මහපූජා ය, සොළොස් වන අද්භූත මහා පරිච්ඡේදයෙහි සංඛ්‍යා පථයට අවිෂය වූ මහ පූජා ය, සතළොස් වන ජේතවනාරාම පරිච්ඡේදයෙහි දෙසිය සැත්තෑවක් පමණ පූජා ය, අටළොස් වන පූර්වාරාම පරිච්ඡේදයෙහි එක්සිය විස්සක් පමණ පූජා ය, එකුන් විසි වන දහර භික්‍ෂු පරිච්ඡේදයෙහි අප්‍රමාණ වූ ප්‍රතිපත්ති පූජා ය, විසි වන අසදෘශ දාන පරිච්ඡේදයෙහි අප්‍රමාණ පූජා ය,

එක්විසි වන ගංගාරෝහණ පරිච්ඡේදයෙහි සත්දහස් පන්සිය තිසක් පමණ පූජා ය, දෙවිසි වන දිව්‍යරාජ පරිච්ඡේදයෙහි අසූ දහසක් පමණ දිව්‍යරාජ පූජා ය, තෙවිසි වන යමක ප්‍රාතිහාර්‍ය්‍ය පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ සතලිස් දහස් එක්සිය තෙයාසූවක් පමණ පූජා ය, සුවිසි වන පාණ්ඩුකම්බලාසන පරිච්ඡේදයෙහි දෙකෙළ සොළොස් ලක්‍ෂයක් පමණ පූජා ය, පස්විසි වන දේවෝරොහණ පරිච්ඡේදයෙහි දෙලක්‍ෂ සැත්තෑ දහස් පන්තිස් මහ පූජා ය, සවිසි වන භික්ෂුණී ශාසන පරිච්ඡේදයෙහි අප්‍රමාණ වූ භික්‍ෂුණී ප්‍රතිපත්ති පූජා ය, සත්විසි වන මහා ප්‍රජාපතී පරිච්ඡේදයෙහි අද්භූත වූ අප්‍රමාණ පූජා ය, අටවිසි වන ජීවකාරාම පරිච්ඡේදයෙහි අපමණ මහ පූජා ය, එකුන්තිස් වන දෙවදත්තාවතාර පරිච්ඡේදයෙහි අප්‍රමාණ සම මෙත් පූජා ය, තිස් වන අජාතසත්තුරාජ දමන පරිච්ඡේදයෙහි ජීවිතාදී අප්‍රමාණ පූජා ය,

එක්තිස් වන යශෝධරා පරිච්ඡේදයෙහි අප්‍රමාණ වූ ප්‍රාතිහාර්ය්‍යාදි ප්‍රතිපත්ති පූජා ය, දෙතිස් වන ධර්මාශොක පරිච්ඡේදයෙහි තුදුස් ලක්‍ෂ සත් පනස් දහස් නවසිය සයානූවක් පමණ පූජා ය, තෙතිස් වන මිහිඳු මාහිමියන්ගේ ප්‍රතිපත්ති පරිච්ඡේදයෙහි නොඑක් සුවහස් ගණන් පූජාය, සූතිස්වන ශ්‍රී ලංකාද්වීප පරිච්ඡේදයෙහි සිරිලක රජ කළ එක්සිය තෙපනස් රජුන් අතුරෙන් පැරකුම් රජුන් අවසන්හි පින්වත් රජුන් කළාවූ අසඞ්ඛ්‍ය ගණන් නොඑක් පූජාලත් හෙයිනුත්, ග්‍රන්‍ථ‍ භීරුකයන් කුසීවෙති යි සිතාත්, ග්‍රන්‍ථ විශාරද වන හෙයිනුත්, දැන දැන ද මා විසින් දක්වාගත නුහුණුවා වූ අප්‍රමාණ වූ පූජා ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්-

සංසාර සාගරයට දිව්‍ය නෞකාවක් බඳු වූ, සංසාර නැමැති මහා පඞ්ක දුර්‍ගයට දිව්‍යසෙතුකාවක් බඳු වූ, සංසාර නමැති මහා කාන්තාරයට දිව්‍ය රථයක් බඳුවූ, සංසාර නමැති මහාන්‍ධකාරයට තේජො කඳක් බඳු වූ, සංසාර නැමැති මහ ගිම් හෙලියට ඡායා වෘක්‍ෂයක් බඳු වූ, සංසාර නැමැති පිපාසාවට පියුම් විලක් බඳු වූ, සංසාර නමැති මහාව්‍යාධියට ඖෂධ වෘක්‍ෂයක් බඳු වූ, සංසාර නමැති මහා විෂයට දිව්‍ය මන්ත්‍රයක් බඳු වූ, සංසාර නමැති මහ ගිනිකඳට ආකාශ ගංගාවක් බඳු වූ, මට ද සියලු සතුන්ට ද මවු වූ, පිය වූ, ගුරු වූ, දෙවි වූ, බඹ වූ, තමන් වහන්සේ වන් අමාමහ නිවන් පුරයෙහි සියලු සතුන් ගෙන හැර පුරා ගත්තා වූ, අප මහා ගෞතම තිලෝගුරු බුදුරජාණන් වහන්සේ – ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්ම සාරථි සත්‍ථා දෙව මනුස්සානං බුද්ධෝ භගවා” යි යන මේ නව අරහාදී බුදුගුණයෙහි පළමුවන අර්හත් ගුණයෙන් යෙදුණු සේකැ යි දතයුතු. එසේ හෙයින් කියන ලදී:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං-යි.

මේ පූජාවලී දේශනාවසානයෙහි අප බුදුන් ශ්‍රී ලඞ්කාද්වීපයෙහි හැම රජුන්ගෙන් ලද

උද්දෙසික පූජා කථා නම් වූ සුතිස් වන පරිච්ඡේදය නිමි.

මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍රයන් විසින් පරානුග්‍රහයෙන් පහළ කරන ලද පූජාවලී නිමාම් වී.

චීරං තිට්ඨතු සද්ධම්මො-දෙවො සම්මා පවස්සතු,

රට්ඨං රක්ඛන්තු රාජානො–පජා පප්පොන්තු නිබ්බුතිං.

.

කප්පරුක්ඛායමානස්සං-සත්තානං වසතො භවෙ

පඤ්ඤා භගවතී මය්හං-වුද්ධිං ගච්ඡතු සබ්බදා.

.

අහං තු පරමං බොධිං-පත්‍වා ධම්ම’මනුත්තරං,

දෙසෙත්‍වා පාණිනො සබ්බෙ-මොචෙය්‍යං භවබන්‍ධනා.

.

ඉමිනා පුඤ්ඤ කම්මෙන - යාච බුද්ධො භවා භවං

මහොසධොව ඤාණෙන - ජොති සෙට්ඨිව භොගිනා

වෙස්සන්තරොව දානෙන - හොතු මය්හං භවා භවෙ.

  1. ස්ථිති ප්‍රඥායෙන් ද

  2. නොහෙමෝ.

  3. සුප්පවතික.

  4. සුචීත්‍රා.

  5. රොචිනී.

  6. කුමරුන්.

  7. පිටලා.

  8. නීයසය

  9. ස්වමිත්‍ර-ධර්‍මමිත්‍ර

  10. දසදහසක්.

  11. දම්,

  12. මහරහතුන්වහන්සේ.

  13. විශෙෂ ගණිත ඥාන.

  14. කොණ.

  15. කඩ සා කොට කඩ කඩ සා කොට කරත්.

  16. දෑතුරෙහි,

  17. සිරු,

  18. හැරපු,

  19. හේ එසේ මැයි.

  20. කල් බොහෝ යයි.

  21. අඹුදරුවන්

  22. ‘පරණලා පත්’

  23. ගොඩ්

  24. ධර්‍මයෙන්

  25. යන්නවුන්සේ

  26. පීඩාව නොහුන් සේක.

  27. ත්‍රිවික්‍රමයක්

  28. ලේන ව,

  29. කුකුළු ව

  30. ගග්ග ජාතකයෙහි.

  31. උත්තරාඹරයෙහි.

  32. මෙහෙසිපියා

  33. සුචිරත්න, සුචිරථ

  34. නි මාරෙයයි, තී මාරවෙහි,

  35. මචච.

  36. මුල්

  37. නොවරවමියි.

  38. පනීතා

  39. තිස්දෙනා-ඇතැම්.

  40. සිරිවඩ්ඪ

  41. රත්වදමලක්, රත්ල මඳනක්.

  42. පුසාවතී,

  43. සර වූ.

  44. අකුල්හෙලා.

  45. ගැළවී

  46. රිසි

  47. ඉසිනා, ඉසිනො

  48. බිම්

  49. තපස් කරණ දෑය,

  50. කැණවිලන්

  51. උපනිමි

  52. වෙසෙම් නම්,

  53. පාන්වර

  54. කෝළිය,

  55. යවති.

  56. ඇකිලි,

  57. බෝසතාණන්,

  58. දෙව්දැහැ,

  59. හිණ කෙස්වැල.

  60. විලුම්බිනී

  61. රන්දැලින්.

  62. මන්තීය.

  63. සුදත්ත කොණ්ඩඤ්ඤය.

  64. හුණු.

  65. කැළළිත්,

  66. රන් පානය,

  67. වන්බිඩි.

  68. රූ සයුරාණෙනි,

  69. බියලි,

  70. නො පෙනෙයි.

  71. සක්‍යපුඞ්ගවො.

  72. එනකුලෙහි.

  73. නරරාජවරො නගරන්තු ගතො,

  74. නවුම්

  75. මාවුලාවන්

  76. සොත්‍ථිය

  77. නෙත්නි.

  78. ශතවර්‍ගය

  79. මෝරු,

  80. උම්මාදන්ති.

  81. හමනිනා සේ.

  82. හමනිනා සේ.

  83. මහානාම

  84. සීවට්ටක

  85. අතවස

  86. නපීසිකාවක්. ඇතැම්

  87. පැයක් ඇසිල්ලකින්.

  88. මහ අඩයක්-ඇතෑම.

  89. ශුද්ධශයනයෙන්,

  90. සාධු

  91. මෙර බුදුන්.

  92. විපුල

  93. රථයක.

  94. අමුණක්.

  95. ගිරිකණ්ඩ නම් රජහු